<?xml version="1.0" encoding="UTF-8"?>
<bible translation="Sinhala Bile - New Revised Version (NRSV)" status="Ceylon Bible Society" link="https://www.bible.com/bible/1828/GAL.3.NRSV">
	<testament name="Old">
		<book number="1">
			<chapter number="1">
				<verse number="1">ආරම්භයේ දී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක.</verse>
				<verse number="2">පොළොව හිස් ව පාළු ව තිබිණි. මහ සයුර මත අන්ධකාරයක් විය. දේවාත්මානුභාවය ජලය මතු පිට හැසුරුණේ ය.</verse>
				<verse number="3">එවිට දෙවියන් වහන්සේ, “ආලෝකය වේ වා!”යි වදාළ සේක; ආලෝකය විය.</verse>
				<verse number="4">ආලෝකය මනහර බව උන් වහන්සේ දුටු සේක. උන් වහන්සේ අන්ධකාරයෙන් ආලෝකය වෙන් කර</verse>
				<verse number="5">ආලෝකයට “දවාල” කියා ද, අන්ධකාරයට “රාත්‍රිය” කියා ද නම් තැබූ සේක. සවස ගත විය, උදය උදා විය, ඒ පළමු වන දවස ය.</verse>
				<verse number="6">ඉන්පසු දෙවියන් වහන්සේ, “ජලය ස්ථාන දෙකක වෙන් වෙන් ව පවතින පිණිස එය වෙන් කරන අහස් කුස වේ වා!”යි වදාළ සේක. එසේ ම විය.</verse>
				<verse number="7">මෙසේ උන් වහන්සේ අහස් කුස සාදා, ඊට යටින් තිබෙන ජලය, ඊට උඩින් තිබෙන ජලයෙන් වෙන් කර</verse>
				<verse number="8">‍‍‍‍ අහස් කුසට “අහස” කියා නම් තැබූ සේක. සවස ගත විය, උදය උදා විය, ඒ දෙ වන දවස ය.</verse>
				<verse number="9">ඉන්පසු දෙවියන් වහන්සේ, “ගොඩබිම මතු වන පිණිස අහස යට තිබෙන ජලය එක තැනකට රැස් වේ වා!”යි වදාළ සේක. එසේ ම විය.</verse>
				<verse number="10">ගොඩබිමට “පොළොව” කියා ද, ජලයට “සාගරය” කියා ද උන් වහන්සේ නම් තැබූ සේක. එය මනහර බව උන් වහන්සේ දුටු සේක.</verse>
				<verse number="11">එවිට දෙවියන් වහන්සේ, “බීජ උපදවන ඇට සහිත පල දරන, සියලු වර්ගවල ගස්කොළන් භූමියේ හටගැනේ වා!”යි වදාළ සේක. එසේ ම විය.</verse>
				<verse number="12">මෙසේ භූමිය බීජ උපදවන, ඇට සහිත පල දරන, සියලු වර්ගවල ගස්කොළන් නිපදවිය. එය මනහර බව දෙවියන් වහන්සේ දුටු සේක.</verse>
				<verse number="13">සවස ගත විය, උදය උදා විය, ඒ තුන් වන දවස ය.</verse>
				<verse number="14">ඉන්පසු දෙවියන් වහන්සේ, “දවාල රාත්‍රියෙන් වෙන් කිරීම සඳහාත්, දවස්, අවුරුදු හා මංගල්‍ය වකවානු දක්වනු සඳහාත් අහස් කුසෙහි ආකාශ වස්තු වේ වා!” කියා ද,</verse>
				<verse number="15">“පොළොවට එළිය දීමට ඒවා අහසෙහි බැබළේ වා!” කියා ද වදාළ සේක. එසේ ම විය.</verse>
				<verse number="16">මෙසේ දෙවියන් වහන්සේ ප්‍රධාන ආලෝක දෙකක්, එනම් දවාල පාලනය කිරීම සඳහා ලොකු ආලෝකය ද, රාත්‍රිය පාලනය කිරීම සඳහා කුඩා ආලෝකය ද සෑදූ සේක; තාරකා ද සෑදූ සේක.</verse>
				<verse number="17">දෙවියන් වහන්සේ මේ අලෝකයන් අහසේ තැබුවේ පොළොවට ආලෝකය දීම සඳහාත්,</verse>
				<verse number="18">දවාල හා රාත්‍රිය පාලනය කිරීම සඳහාත්, අඳුරින් ආලෝකය වෙන් කිරීම සඳහාත් ය. එය මනහර බව දෙවියන් වහන්සේ දුටු සේක.</verse>
				<verse number="19">සවස ගත විය, උදය උදා විය, ඒ සතර වන දවස ය.</verse>
				<verse number="20">ඉන්පසු දෙවියන් වහන්සේ, “ජලය, අසංඛ්‍ය ජීවමාන සතුන්ගෙන් පිරී ඉතිරේවා!” කියා ද, “පක්ෂීහු පොළොවට උඩින් අහස් කුස හරහා පියඹා යත් වා!” කියා ද වදාළ සේක. එසේ ම විය.</verse>
				<verse number="21">මෙසේ දෙවියන් වහන්සේ දැවැන්ත තල්මසුන් ද ඔබමොබ පීනන නන් වැදෑරුම් ජලජ සතුන් ද නන් වැදෑරුම් පක්ෂීන් ද මැවූ සේක. එය මනහර බව දෙවියන් වහන්සේ දුටු සේක.</verse>
				<verse number="22">තවද, දෙවියන් වහන්සේ ඔවුන්ට ආසිරි පතමින්, “බෝ වී වැඩි වර්ධනය වී මුහුදු ජලය පුරා පැතිරෙත් වා!” කියා ද, “පක්ෂීහු පොළොවේ බෝවෙත් වා!” කියා ද පැවසූ සේක.</verse>
				<verse number="23">සවස ගත විය, උදය උදා විය, ඒ පස් වන දවස ය.</verse>
				<verse number="24">ඉන්පසු දෙවියන් වහන්සේ; “විවිධ ගවමහිෂයන් ද උරගයන් ද වන මෘගයන් ද යන ජීවමාන සත්ත්වයෝ පොළොවෙන් නිපදෙත් වා!”යි වදාළ සේක. එසේ ම විය.</verse>
				<verse number="25">මෙසේ උන් වහන්සේ විවිධාකාර වන මෘගයන් ද ගවමහිෂයන් ද උරගයන් ද පොළොවෙන් ඉපද වූ සේක. එය මනහර බව දෙවියන් වහන්සේ දුටු සේක.</verse>
				<verse number="26">ඉන්පසු දෙවියන් වහන්සේ; “අපගේ ස්වරූපය අනුව, අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා මවමු, ඔහු මුහුදේ මසුන් ද අහසේ පක්ෂීන් ද ගවමහිෂයන් ද මුළු පොළෝ තලයෙහි සියලු වන මෘගයන් ද උරගයන් ද පාලනය කෙරේවා!”යි අණ කළ සේක.</verse>
				<verse number="27">
					දෙවියන් වහන්සේ තම ස්වරූපය අනුව මිනිසා මැවූ සේක;
					දෙවියන් වහන්සේගේ ම ස්වරූපය අනුව ඔවුන් මවා වදාළ සේක; පුරුෂයා ද ස්ත්‍රිය ද වශයෙන් ඔවුන් මැවූ සේක.
				</verse>
				<verse number="28">දෙවියන් වහන්සේ ඔවුන්ට ආසිරි පතමින්, “නුඹලා දරුසම්පත් ලබා, වැඩි වර්ධනය වී, පොළොව පුරා පැතිර එය යටත් කරගන්න. මුහුදේ මසුන් කෙරෙහි ද, අහසේ පක්ෂීන් කෙරෙහි ද, පොළොවේ සැරි සරන සියලු සතුන් කෙරෙහි ද බලය පවත්වන්නැ”යි ඔවුන්ට වදාළ සේක.</verse>
				<verse number="29">තවද, උන් වහන්සේ, “මුළු පොළෝ තලයෙහි ධාන්‍ය දරන සියලු පැලෑටි ද බීජ සහිත පල දරන සියලු ගස් ද නුඹලාගේ ආහාරය පිණිස වේ වා!</verse>
				<verse number="30">එහෙත්, පොළොවේ සියලු වන සතුන්ට ද අහසේ පක්ෂීන්ට ද උරගයන්ට ද සියලු ජීවමාන සතුන්ට ද ආහාර පිණිස නිල් පලා දෙමි”යි වදාළ සේක. එසේ ම විය.</verse>
				<verse number="31">දෙවියන් වහන්සේ තමන් මවා වදාළ සියලු දේ නරඹා, එය ඉතා මනහර බව දුටු සේක. සවස ගත විය, උදය උදා විය, ඒ සය වන දවස ය.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">මෙසේ අහසත්, පොළොවත් එහි ඇති සියලු දේත් මවා නිම කරන ලද්දේය.</verse>
				<verse number="2">දෙවියන් වහන්සේ තමන් කළ කාර්යය සත් වන දවසෙහි නිමවා, එදින සියලු වැඩ නතර කළ සේක.</verse>
				<verse number="3">මෙසේ උන් වහන්සේ සත් වන දවසට ආසිරි පතා එය ශුද්ධ දවසක් ලෙස වෙන් කර වදාළ සේක. එසේ කෙළේ ඒ දවසේ උන් වහන්සේ සිය මැවීමේ කාර්යය නිමවා, වැඩ නතර කළ හෙයිනි.</verse>
				<verse number="4">අහසත් පොළොවත් මැවීමේ පුවත එසේ ය. දෙවි සමිඳාණන් වහන්සේ අහස හා පොළොව මවන විට</verse>
				<verse number="5">පොළොවෙහි හටගත් පැළෑටියක් වත්, පැලවුණු බීජයක් වත් නො වී ය. එසේ වූයේ දෙවි සමිඳාණන් වහන්සේ පොළොව පිට වැස්ස නොඑවූ නිසාත්, භූමිය වගා කිරීමට කිසිවෙකු නොසිටි නිසාත් ය.</verse>
				<verse number="6">එහෙත් පොළොවෙන් ජලය මතු වී භූමි තලය පුරා ගලා ගියේය.</verse>
				<verse number="7">දෙවි සමිඳාණන් වහන්සේ පොළොවේ දුවිල්ලෙන් මනුෂ්‍යයා මවා ඔහුගේ නාස් පුඩු තුළට ජීවන හුස්ම හෙළූ සේක. මෙසේ මනුෂ්‍යයා ජීවමාන කෙනෙක් විය.</verse>
				<verse number="8">දෙවි සමිඳාණන් වහන්සේ පූර්ව දිශාවේ, ඒදන්හි උයනක් තනා තමන් මැවූ මනුෂ්‍යයා එහි පිහිටෙවු සේක.</verse>
				<verse number="9">තවද, උන් වහන්සේ දැකුම්කලු, ප්‍රණීත පලදෙන සියලු ගස් ද උයන මැද ජීවන වෘක්ෂය ද හොඳ-නරක අවබෝධ කිරීමේ ගස ද භූමියෙන් හටගන්නට සැලැසූ සේක.</verse>
				<verse number="10">උයනට ජලය සැපයීම සඳහා ඒදන් ප්‍රදේශයෙන් ගඟක් ගලා ගියේය. උයනින් පිටත දී එය අතු ගංගා සතරකට බෙදිණි.</verse>
				<verse number="11">පළමු වන අතු ගංගාවේ නම පිෂොන් ය; මුළු හවීලා පෙදෙස වටා ගලා යන ගංගාව එය වේ; ඒ පෙදෙසෙහි රත්රන් ඇත.</verse>
				<verse number="12">එහි ඇති රත්රන් අමිශ්‍ර ය; ගන්ධරස හා නඛමාණික්‍ය ද එහි ඇත.</verse>
				<verse number="13">දෙ වන අතු ගංගාවේ නම ගීහොන් ය; එය මුළු කූෂ් ප්‍රදේශය වටා ගලා යයි.</verse>
				<verse number="14">තෙ වන අතු ගංගාවේ නම ටයිග්‍රීස් ය; එය අෂුර් දේශයට පෙරදිගින් ගලා බසියි. සතර වන අතු ගංගාව යුප්‍රටීස් ය.</verse>
				<verse number="15">ඒදන් උයන වගා කර එය රැක බලා ගැනීම පිණිස දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා රැගෙන ඔහු එහි පදිංචි කරවූ සේක.</verse>
				<verse number="16">තවද, උන් වහන්සේ මිනිසාට අණ කරමින්, “උයනේ සියලු ම ගස්වලින් ගෙඩි කෑමට නුඹට නිදහස ඇත.</verse>
				<verse number="17">එහෙත්, හොඳ-නරක අවබෝධ කිරීමේ ගසින් පමණක් නොකෑ යුතු ය; නුඹ යම් දවසක ඒ ගසින් කන්නෙහි ද ඒ දවසෙහි මරණය නුඹට ඒකාන්ත ය”යි වදාළ සේක.</verse>
				<verse number="18">පසුව දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, “මිනිසා තනි ව විසීම සුදුසු නැත; ඔහුට සුදුසු සහකාරියක මවා දෙන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="19">මෙසේ උන් වහන්සේ භූමියෙන් වනයේ සියලු සතුන් ද අහසේ සියලු පක්ෂීන් ද මැවූ සේක. ඉන්පසු මිනිසා උන්ට කුමන නම් තබන්නේ දැ යි බලනු පිණිස උන් මිනිසා වෙත ගෙනා සේක. මිනිසා එක එකාට තැබූ නාම, උන්ගේ නාම විය.</verse>
				<verse number="20">මෙසේ මිනිසා සියලු ගවමහිෂයන්ට ද අහසේ පක්ෂීන්ට ද සියලු මෘගයන්ට ද නම් තැබී ය. එහෙත්, ඔහුට සුදුසු සහකාරියක් නොවුවා ය.</verse>
				<verse number="21">එවිට දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා බර නින්දකට පත් කළ සේක. ඔහු නිදා සිටිය දී උන් වහන්සේ ඔහුගේ ඉල ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය වසා දැමූ සේක.</verse>
				<verse number="22">උන් වහන්සේ ඔහුගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක මවා ඔහු වෙත ගෙනා සේක.</verse>
				<verse number="23">එවිට මිනිසා කතා කොට, “දැන් ඉතින්, මාගේ ඇටවලින් ගත් ඇටය වන, මාගේ මාංසයෙන් ගත් මාංසය වන මැය, මිනිසාගෙන් ගත් හෙයින්, ඈට ‘ස්ත්‍රී’ කියා කියනු ඇතැ”යි පැවසී ය.</verse>
				<verse number="24">මිනිසෙකු තම පියා ද මව ද අත් හැර සිය භාර්යාවට බැඳෙන්නේ එබැවින් ය. මෙලෙස ඔව්හු එක් මාංසයක් වන්නෝ ය.</verse>
				<verse number="25">මිනිසාත්, භාර්යාවත් දෙදෙනා ම නග්න ව සිටි නමුත් ඔව්හු ලජ්ජා නොවූ හ.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">දෙවි සමිඳාණන් වහන්සේ මැවූ වනයේ සියලු සතුන්ට වඩා සර්පයා උපායෙහි දක්ෂ විය. ඌ ස්ත්‍රියට කතා කොට, “උයනේ කිසි ම ගහක ගෙඩි කන්නට එපා කියා දෙවියන් වහන්සේ කළ තහනම ඇත්ත දැ”යි ඇසී ය.</verse>
				<verse number="2">ස්ත්‍රිය සර්පයාට උත්තර දෙමින්, “උයනේ ඕනෑ ම ගහක ගෙඩි කන්නට අපට අවසර ඇත.</verse>
				<verse number="3">එහෙත්, උයන මැද තිබෙන ගහේ ගෙඩි කන්නටත්, ඒවාට අත ගසන්නටත් දෙවියන් වහන්සේ අපට තහනම් කර ඇත. එසේ කළොත් අප මැරෙනවාම ය”යි කීවා ය.</verse>
				<verse number="4">එවිට සර්පයා පිළිතුරු දෙමින්, “සැබැවින් ම ඔබ මැරෙන්නේ නැත.</verse>
				<verse number="5">ඔබ ඒ ගසේ ගෙඩි කන දවසේ දී ඔබ‍‍ගේ ඇස් පෑදී, දෙවියන් හා සමාන වී, ඔබත් හොඳ-නරක අවබෝධ කරගන්න බව දෙවියන් වහන්සේ දන්න නිසා එසේ වදාළ සේකැ”යි කී ය.</verse>
				<verse number="6">ස්ත්‍රිය ද ගස පෙනුමට කෙතරම් රමණීය ද පල කෙතරම් ප්‍රණීත ද නුවණ වැඩුමට කෙතරම් කදිම ද කියා දුටු විට එයින් ගෙඩි කීපයක් කඩා කෑවා ය. තමා සමඟ සිටි සිය සැමියාට ද ඉන් සමහරක් දුන් විට ඔහු ද කෑවේ ය.</verse>
				<verse number="7">එවිට ඔවුන් දෙදෙනාගේ ම ඇස් පෑදී තමන් නග්න ව සිටි බව ඔව්හු තේරුම්ගත්හ. එබැවින් ඔව්හු අත්තික්කා කොළ එකට මසා ඉණ වැසුම් සාදාගත්හ.</verse>
				<verse number="8">ඉක්බිති එදින සිසිල් සුළං හමන සැඳෑ සමයෙහි දෙවි සමිඳාණන් වහන්සේ උයනේ සක්මන් කරන හඬ ඔවුන්ට ඇසී, මිනිසා හා ඔහුගේ භාර්යාව උයනේ ගස් අතර උන් වහන්සේගෙන් සැඟවුණාහ.</verse>
				<verse number="9">එහෙත්, දෙවි සමිඳාණන් වහන්සේ මිනිසාට හඬ ගසමින්, “නුඹ කොහේ දැ”යි ඇසූ සේක.</verse>
				<verse number="10">“ඔබ වහන්සේගේ කටහඬ උයනේ මට ඇසිණි. එහෙත්, මා නග්න බැවින්, බිය වී සැඟවුණෙමි”යි ඔහු උත්තර දුන්නේ ය.</verse>
				<verse number="11">එවිට උන් වහන්සේ, “නුඹ නග්න බව කීවේ කවරෙක් ද? මා නුඹට තහනම් කළ ගසින් නුඹ ගෙඩි කෑවෙහි දැ”යි ඇසූ සේක.</verse>
				<verse number="12">ඔහු ද පිළිතුරු දෙමින්, “ඔබ මට සහකාරිය වශයෙන් දුන් ස්ත්‍රිය ඒ ගසේ ගෙඩි කඩා මට දුන්නා ය; මමත් කෑවෙමි”යි පැවසී ය.</verse>
				<verse number="13">එවිට දෙවි සමිඳාණන් වහන්සේ ස්ත්‍රියට කතා කොට, “නුඹ මෙය කෙළේ මන්දැ”යි ඇසූ සේක. “සර්පයා මා රැවටී ය; මමත් කෑවෙමි”යි ඈ පිළිතුරු දුන්නා ය.</verse>
				<verse number="14">එවිට දෙවි සමිඳාණන් වහන්සේ සර්පයාට කතා කොට මෙසේ වදාළ සේක: “තා මෙය කළ බැවින් සියලු ගමහිෂයන්ට ද වනයේ සියලු මෘගයන්ට ද වඩා තෝ සාප ලද්දෙක් වේ වා! දිවි ඇති තාක් උර ගා යමින් තෝ දූවිලි කන්නෙහි ය.</verse>
				<verse number="15">
					තා සහ ස්ත්‍රිය අතර ද තගේ වංශය සහ ඇගේ වංශය අතර ද බද්ධ වෛරය තබන්නෙමි.
					ඔහු තගේ හිස පොඩි කරන්නේ ය; තෝ ද ඔහුගේ විලුඹ දෂ්ට කරන්නෙහි ය.”
				</verse>
				<verse number="16">උන් වහන්සේ ස්ත්‍රියට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹේ ගැබ් ගැනීමේ වේදනා මම බොහෝ සේ වැඩි කරන්නෙමි. විලි රුදා ඇති ව නුඹ දරුවන් ප්‍රසූත කරන්නෙහි ය. එහෙත්, නුඹේ දැඩි ආශාව සැමියා කෙරෙහි වන්නේ ය. ඔහු නුඹ පාලනය කරන්නේ ය.”</verse>
				<verse number="17">තවද උන් වහන්සේ මිනිසාට ද කතා කොට මෙසේ වදාළ සේක: “භාර්යාවගේ වචනයට සවන් දී, ‘නොකෑ යුතු ය’යි මා තහනම් කළ ගසේ ගෙඩි කෑ බැවින්, නුඹේ මේ ක්‍රියාව නිසා පොළොවට සාප වේ වා! දිවි ඇති තාක් නුඹ වෙහෙස මහන්සි වී එයින් ආහාර ලබාගන්නෙහි ය;</verse>
				<verse number="18">පොළොවේ නුඹට කටු පඳුරු ද වල් පැලෑටි ද උපදින්නේ ය, නුඹට වනයේ පලා කන්නට සිදු වන්නේ ය.</verse>
				<verse number="19">භූමියෙන් වූ නුඹ, යළි භූමියට යන තෙක්, ඩහදිය මහන්සියෙන් අහර උපයන්නෙහි ය. දුවිල්ලෙන් වූ නුඹ දූවිල්ලට ම යන්නෙහි ය.”</verse>
				<verse number="20">මිනිසා සිය බිරිඳට ‘ඒව’ යන නම දුන්නේ ය. මන්ද, ඈ ජීවමාන සියල්ලන්ගේ මාතාව බැවිනි.</verse>
				<verse number="21">දෙවි සමිඳාණන් වහන්සේ හම් වස්ත්‍ර සාදා ආදම්ට සහ ඔහුගේ භාර්යාවට හැඳවූ සේක.</verse>
				<verse number="22">එවිට දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, “හොඳ-නරක අවබෝධ වීම නිසා දැන්, මිනිසා ද අපෙන් කෙනෙකු හා සමාන වී ඇත. එබැවින් ජීවන වෘක්ෂයට අත පා, එයින් වළඳා සදහට ම ජීවත් වීමට ඔහුට ඉඩ නොදිය යුතු ය”යි වදාළ සේක.</verse>
				<verse number="23">මෙසේ කියා, භූමියෙන් වූ ඔහු භූමිය වගා කරන පිණිස දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා ඒදන් උයනින් නෙරපා දැමූ සේක.</verse>
				<verse number="24">මෙසේ උන් වහන්සේ, මිනිසා පලවා හැර, ඒදන් උයනට පෙරදිගින්, කෙරුබ්වරුන් තැබූ සේක. තවද, ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල් කරනු පිණිස සෑම අතට කරකැවෙන, ගිනි විහිදුවන කඩුවක් ද තැබූ සේක.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">ආදම් සිය භාර්යාව වන ඒව සමඟ එක් විය. ඈ දරුවෙකු පිළිසිඳගෙන, ඔහු උපන් කල, “සමිඳාණන් වහන්සේගේ උපකාරයෙන් මම මිනිසෙකු ලදිමි”යි කීවා ය. එබැවින් ඈ ඒ දරුවාට කායින් යන නම දුන්නා ය.</verse>
				<verse number="2">පසු ව ඈ ඔහුගේ සොහොයුරු වූ ආබෙල් ද ලැබුවා ය. ආබෙල් බැටළු එඬේරෙක් විය, කායින් ගොවියෙක් විය.</verse>
				<verse number="3">කලක් ගත වූ පසු කායින් පොළොවෙන් නිපද වූ අස්වැන්න පඬුරක් වශයෙන් සමිඳාණන් වහන්සේට පූජා කළේ ය.</verse>
				<verse number="4">ආබෙල් ද සිය බැටළු රැළේ කුලුඳුල් පැටවුන්ගෙන් සමහරෙකු ද ඔවුන්ගේ හොඳ ම කොටස් ද ගෙන සමිඳාණන් වහන්සේට පූජා කළේ ය. සමිඳාණන් වහන්සේ ද ආබෙල් සහ ඔහුගේ පඬුර සතුටින් පිළිගත් සේක.</verse>
				<verse number="5">එහෙත්, උන් වහන්සේ කායින් සහ ඔහුගේ පඬුර නොපිළිගත් සේක. එබැවින් කායින් තදින් කිපී, දුර්මුඛ විය.</verse>
				<verse number="6">සමිඳාණන් වහන්සේ ද කායින්ට කතා කොට, “නුඹ මෙතරම් කිපී, දුර්මුඛ වී සිටින්නේ මන් ද?</verse>
				<verse number="7">නුඹ යහපත කරන්නෙහි නම් නුඹ පිළිගනු ලබන්නෙහි ය. නුඹ අයහපත කරන්නෙහි නම් පාපය රකුසෙකු සේ නුඹේ දොරකඩ ලැග සිටින්නේ ය. ඌ නුඹ මැඩලීමට බලාගෙන සිටියි; එහෙත්, නුඹට ඌ දමනය කළ හැකි ය”යි වදාළ සේක.</verse>
				<verse number="8">ඉක්බිති කායින් සිය සොහොයුරු ආබෙල් අමතා, “අපි එළිමහනේ කෙතට යමු”යි කී ය. මෙසේ ඔවුන් ගිය විට කායින් සිය සොහොයුරු ආබෙල්ට විරුද්ධ ව නැඟිට ඔහු මරාදැමී ය.</verse>
				<verse number="9">එවිට සමිඳාණන් වහන්සේ කායින්ට කතා කොට, “නුඹේ සහෝදර ආබෙල් කොහේ දැ”යි ඇසූ සේක. කායින් ද උත්තර දෙමින්, “මම නොදනිමි. මම මාගේ සහෝදරයාගේ භාරකරු දැ”යි ඇසී ය.</verse>
				<verse number="10">සමිඳාණන් වහන්සේ ද, “නුඹ කළ මේ දේ කුමක් ද? බලන්න, නුඹේ සහෝදරයාගේ ලේ පොළොවෙන් මට මොරගසයි.</verse>
				<verse number="11">මින් මතු නුඹ පොළෝ තලය මත සාප ලද්දෙක් වේ වා! නුඹ අතින් හෙළූ නුඹේ සහෝදරයාගේ ලෙය උරා බීමට මෙන් පොළොව කට අයාගෙන ඇත. එම පොළොවෙන් නුඹ නෙරපාදමනු ඇත.</verse>
				<verse number="12">මෙතැන් සිට නුඹ බිම වගා කරන විට, එය නුඹට පලදාව නොදෙන්නේ ය. නුඹ ගෙයක් දොරක් නැති, මිහි පිට ඉබාගාතේ යන මිනිහෙක් වන්නෙහි යැ”යි වදාළ සේක.</verse>
				<verse number="13">එවිට කායින් සමිඳාණන් වහන්සේට කතා කොට, “මාගේ දඬුවම දැරිය නොහැකි තරම් දරුණු ය.</verse>
				<verse number="14">ඔබ මෙදින මේ පොළොවෙන් මා නෙරපාදමන සේක. මා ඔබගෙන් සැඟවී, ගෙයක් දොරක් නැති, මිහි පිට ඉබාගාතේ යන්නෙකු විය යුතු ය. මා හමුවට එන කවරෙක් වේ වා, මා මරා දමනු ඇතැ”යි කී ය.</verse>
				<verse number="15">එහෙත්, සමිඳාණන් වහන්සේ උත්තර දෙමින්, “එසේ නොවනු ඇත. යම් කෙනෙක් කායින් මැරුවොත් ඔහුගෙන් එමෙන් සත් වරක් දරුණු ලෙස පළිගනු ලබන්නේ ය”යි වදාළ සේක. එබැවින් සමිඳාණන් වහන්සේ ද යමෙකුට කායින් මුණ ගැසුණොත් කායින් නොමරන පිණිස ඔහු පිට ලකුණක් තැබූ සේක.</verse>
				<verse number="16">එවිට කායින් සමිඳාණන් වහන්සේ වෙතින් අහක් ව ගොස් ඒදන් උයනට පෙරදිගින් පිහිටි “නොද්” ප්‍රදේශයේ පදිංචි විය.</verse>
				<verse number="17">කායින් සිය භාර්යාව සමඟ එක් විය. ඈ පිළිසිඳ ඒනොක් නම් දරුවා ලැබුවා ය. කායින් ද නුවරක් ඉදි කර තම පුත්‍රයාගේ නාමය අනුව ඊට ඒනොක් යයි නම් තැබී ය.</verse>
				<verse number="18">ඒනොක්ට ඊරාද් නම් පුතෙක් උපන්නේ ය. ඊරාද්ට දාව මෙහුයායෙල් ද, මෙහුයායෙල්ට දාව මෙතුෂායෙල් ද, මෙතුෂායෙල්ට දාව ලාමෙක් ද උපන්නෝ ය.</verse>
				<verse number="19">ලාමෙක් ස්ත්‍රීන් දෙදෙනෙකු සරණ පාවාගත්තේ ය. එක් කෙනෙකුගේ නම ආදා ය, අනික් තැනැත්තිය ශිල්ලා ය.</verse>
				<verse number="20">ආදා, ජාබල් ලැබුවා ය. මොහු කූඩාරම්වල වසන ගොපල්ලන්ගේ ආදි පියා ය.</verse>
				<verse number="21">මොහුගේ සහෝදරයාගේ නම ජුබාල් ය; ඔහු වීණා වයන, නළා පිඹින සියලු සංගීතකරුවන්ගේ ආදි පියා ය.</verse>
				<verse number="22">ශිල්ලාට ද තුබල්-කායින් උපන්නේ ය. මොහු ලෝකඩ සහ යකඩ උපකරණ සාදන සියලු ලෝකුරුවන්ගේ ආදි පියා ය. තුබල්-කායින්ගේ සහෝදරී නාමා ය.</verse>
				<verse number="23">ලාමෙක් සිය භාර්යාවන්ට කතා කොට, “ආදා හා ශිල්ලා මට සවන් දෙන්න. මා බිරිඳෙනි, මා බසට කන් යොමන්න. මිනිසෙක් මට පහර දුනි, මම ඔහු මරාදැමීමි. තරුණයෙක් මට තුවාළ කෙළේ ය, මම ඔහුත් මරාදැමීමි.</verse>
				<verse number="24">
					කායින්ට පහර දෙන්නේ කවරෙක් ද?
					ඔහුගෙන් පළිගැනීම හත් වරක් වේවි. මට පහර දෙන්නේ කවරෙක් ද? ඔහුගෙන් පළිගැනීම හැත්තෑ හත් වරක් වේවී”යි පැවසී ය.
				</verse>
				<verse number="25">ආදම් ද යළි සිය භාර්යාව සමඟ එක් විය. ඈ පුතෙකු ලැබූ කල, “කායින් මැරූ ආබෙල් වෙනුවට දෙවියන් වහන්සේ මට පුතෙකු දුන් සේකැ”යි කීවා ය. එබැවින් ඈ ඔහුට සෙත් යන නාමය තැබුවා ය.</verse>
				<verse number="26">සෙත්ට ද පුතෙක් උපන්නේ ය. ඔහු ඒනොෂ් යන නාමය ඔහුට තැබී ය. මනුෂ්‍යයන් ‘යාවේ’ හෙවත් සමිඳාණන් වහන්සේ කියා උන් වහන්සේට පළමු වරට නමස්කාර කරන්නට පටන්ගත්තේ ඒ කාලයේ දී ය.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">ආදම්ගේ පෙළපතේ නාමාවලිය මෙසේ ය: දෙවියන් වහන්සේ මිනිසා මවන විට සිය සමානත්වය ඇති ව ඔහු මැවූ සේක.</verse>
				<verse number="2">ස්ත්‍රී-පුරුෂ වශයෙන් ඔවුන් මැවූ සේක. උන් වහන්සේ ඔවුන් මවන විට ඔවුන්ට ආශීර්වාද කරමින් ‘මිනිසා’ යන නාමය ඔවුන්ට තැබූ සේක.</verse>
				<verse number="3">ආදම්ට වයස අවුරුදු එකසිය තිහක් (130) වූ විට තමාගේ ම සමානත්වය හා ස්වරූපය ඇති පුතෙක් ඔහුට ලැබිණි. මොහුට සෙත් යන නාමය තැබී ය.</verse>
				<verse number="4">සෙත්ගේ උපතින් පසු ආදම් තව අවුරුදු අටසියයක් (800) ජීවත් විය. ඔහුට දාව තව දරුදැරියෝ උපන්හ.</verse>
				<verse number="5">ඔහු අවුරුදු නවසිය තිහක් (930) ආයු වළඳා මියගියේය.</verse>
				<verse number="6">සෙත්ගේ වයස අවුරුදු එකසිය පහක් (105) වූ විට ඔහුට දාව ඒනොෂ් උපන්නේ ය.</verse>
				<verse number="7">ඒනොෂ් උපන් පසු ඔහු තව අවුරුදු අටසිය හතක් (807) ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ.</verse>
				<verse number="8">ඔහු අවුරුදු නවසිය දොළොසක් (912) ආයු වළඳා මියගියේය.</verse>
				<verse number="9">ඒනොෂ්ට වයස අවුරුදු අනූවක් (90) වූ විට ඔහුට දාව කේනාන් උපන්නේ ය.</verse>
				<verse number="10">කේනාන් උපන් පසු ඒනොෂ් තව අවුරුදු අටසිය පසළොසක් (815) ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ.</verse>
				<verse number="11">ඔහු අවුරුදු නවසිය පහක් (905) ආයු වළඳා මියගියේය.</verse>
				<verse number="12">කේනාන්ට වයස අවුරුදු හැත්තෑවක් (70) වූ විට ඔහුට දාව මහලලෙල් උපන්නේ ය.</verse>
				<verse number="13">මහලලෙල් උපන් පසු කේනාන් තව අවුරුදු අටසිය සතළිසක් (840) ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ.</verse>
				<verse number="14">ඔහු අවුරුදු නවසිය දහයක් (910) ආයු වළඳා මියගියේය.</verse>
				<verse number="15">මහලලෙල්ට වයස අවුරුදු හැටපහක් (65) වූ විට ඔහුට දාව ජරෙද් උපන්නේ ය.</verse>
				<verse number="16">ජරෙද් උපන් පසු මහලලෙල් තව අවුරුදු අටසිය තිහක් (830) ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ.</verse>
				<verse number="17">ඔහු අවුරුදු අටසිය අනූපහක් (895) ආයු වළඳා මියගියේය.</verse>
				<verse number="18">ජරෙද්ට වයස අවුරුදු එකසිය හැටදෙකක් (162) වූ විට ඔහුට දාව ඒනොක් උපන්නේ ය.</verse>
				<verse number="19">ඒනොක් උපන් පසු ජරෙද් තව අවුරුදු අටසියයක් (800) ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ.</verse>
				<verse number="20">ඔහු අවුරුදු නවසිය හැටදෙකක් (962) ආයු වළඳා මියගියේය.</verse>
				<verse number="21">ඒනොක්ට වයස අවුරුදු හැටපහක් (65) වූ විට ඔහුට දාව මෙතුසෙලා උපන්නේ ය.</verse>
				<verse number="22">මෙතුසෙලා උපන් පසු ඒනොක් දෙවියන් වහන්සේ සමඟ සුහදතාවෙන් හැසිරෙමින් තව අවුරුදු තුන්සියයක් (300) ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්හ.</verse>
				<verse number="23">ඔහුගේ මුළු ජීවිත කාලය අවුරුදු තුන්සිය හැටපහක් (365) විය.</verse>
				<verse number="24">ඒනොක් දෙවියන් වහන්සේ සමඟ සුහදතාවෙන් හැසුරුණේ ය. උන් වහන්සේ ඔහු රැගත් බැවින් ඔහු අතුරුදහන් විය.</verse>
				<verse number="25">මෙතුසෙලාට වයස අවුරුදු එකසිය අසූහතක් (187) වූ විට ඔහුට දාව ලාමෙක් උපන්නේ ය.</verse>
				<verse number="26">ලාමෙක් උපන් පසු මෙතුසෙලා තව අවුරුදු හත්සිය අසූදෙකක් (782) ජීවත් විය. ඔහුට දාව තවත් දරුදැරියෝ උපන්හ.</verse>
				<verse number="27">අවුරුදු නවසිය හැටනවයක් (969) ආයු වළඳා ඔහු මියගියේය.</verse>
				<verse number="28">ලාමෙක්ට වයස අවුරුදු එකසිය අසූදෙකක් (182) වූ විට ඔහුට දාව පුතෙක් උපන්නේ ය. ලාමෙක් ඔහුට නෝවා යන නාමය තැබී ය.</verse>
				<verse number="29">ඔහු එසේ කෙළේ, ‘සමිඳාණන් වහන්සේ සාප කළ පොළොවෙන් මොහු අපට, අපගේ වැඩවල දී ද වෙහෙස මහන්සියේ දී ද සහනය ගෙන දෙනු ඇත’ යන අදහසින් ය.</verse>
				<verse number="30">ලාමෙක් තව අවුරුදු පන්සිය අනූපහක් (595) ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්හ.</verse>
				<verse number="31">අවුරුදු හත්සිය හැත්තෑහතක් (777) ආයු වළඳා ඔහු මියගියේය.</verse>
				<verse number="32">නෝවාගේ වයස අවුරුදු පන්සියයක් (500) වූ විට ඔහුට දාව ෂෙම්, හාම් සහ ජපෙත් යන පුත්තු තිදෙන උපන්හ.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">එකල පොළෝ තලය මත ජන සංඛ්‍යාව බහුල විය; ජනතාවට දූවරු උපන්නාහ.</verse>
				<verse number="2">මිනිස්-දූවරුන් සුරූපී බව දුටු දිව්‍ය-පුත්‍රයෝ, තම තමන් රිසි වූවන් සරණ පාවාගත්හ.</verse>
				<verse number="3">එවිට සමිඳාණන් වහන්සේ, “මිනිසා මැරෙන සුලු බැවින් මාගේ ජීවන හුස්ම ඔහු තුළ සදහට ම පැවතීමට ඉඩ නොතබමි; මින් මතු ඔහුගේ ජීවිත කාලය අවුරුදු එකසිය විස්සකට වැඩි නොවන්නේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="4">ඒ කාලයේ දීත්, ඉන්පසු වත්, මිහි පිට යෝධයෝ සිටියහ. මොවුහු මිනිස්-දූවරුන් හා දිව්‍ය-පුත්‍රයන්ගෙන් උපන් අය වෙත්; මොවුහු දූරාතීතයේ සිටි, සුප්‍රකට, ශ්‍රේෂ්ඨ වීරයෝ ය.</verse>
				<verse number="5">මිහි පිට මිනිසාගේ දැඩි දුෂ්ටකම හා මිනිසා නිතර ම නපුරු සිතුවිල්ලෙන් කල් යවන බව සමිඳාණන් වහන්සේ දුටු විට</verse>
				<verse number="6">මිහි පිට මිනිසා මැවීම ගැන උන් වහන්සේ ශෝක වූ සේක; උන් වහන්සේගේ හදවත සොවින් පෙළුණි.</verse>
				<verse number="7">එබැවින් උන් වහන්සේ, “මා විසින් මවන ලද මිනිසා මම මිහි පිටින් වනසාලමි; ඔහු සමඟ ගවමහිෂයන් ද උරගයන් ද අහසේ පක්ෂීන් ද වනසාලමි; ඔවුන් මැවීම ගැන මම තැවෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="8">එහෙත් උන් වහන්සේ අබිමුවෙහි නෝවා කරුණාව ලැබී ය.</verse>
				<verse number="9">නෝවා පිළිබඳ පුවත මෙසේ ය; ඔහු සත්ගුණවත් මිනිසෙකි. ඔහුගේ පරම්පරාවේ නිදොස් මිනිසා ඔහු විය. ඔහු දෙවියන් වහන්සේ සමඟ සුහදතාවෙන් හැසුරුණේ ය.</verse>
				<verse number="10">තවද, ඔහුට ෂෙම්, හාම්, ජපෙත් කියා පුත්තු තිදෙනෙක් උපන්හ.</verse>
				<verse number="11">එහෙත්, ලෝවැසි සෙසු හැම දෙන ම දෙවියන් වහන්සේ අබිමුවෙහි දූෂ්‍ය වී සිටියහ; ඔව්හු සැහැසිකමින් පිරී සිටියහ.</verse>
				<verse number="12">දෙවියන් වහන්සේ ලෝකය දෙස බලා එය දූෂ්‍ය වී ඇති බව දුටු සේක. මිහි පිට මිනිසාගේ කල්ක්‍රියා දරුණු ලෙස දූෂ්‍ය වී තිබුණේ ය.</verse>
				<verse number="13">තවද, දෙවියන් වහන්සේ නෝවාට කතා කොට මෙසේ වදාළ සේක: “සියලු මිනිසුන් වනසාලීමට මා තීරණය කර ඇත. මන්ද මිනිසා නිසා පොළෝ තලය ම සැහැසිකමින් පිරී තිබේ. එබැවින් මම ඔවුන් සමඟ පොළෝ තලය විනාශ කරදමමි.</verse>
				<verse number="14">නුඹ සඳහා ගෝපෙර් නම් ලීයෙන් නැවක් සාදාගන්න; එහි කාමර තනා, නැව ඇතුළත හා පිටත කීල් තාර ගාන්න.</verse>
				<verse number="15">නැවේ සැලැස්ම මෙසේ විය යුතු ය. එහි දිග මීටර් එකසිය තිස්තුනකි; පළල මීටර් විසිදෙකකි; උස මීටර් දහතුනකි.</verse>
				<verse number="16">නැවට උඩින් පියස්සක් තනා, ඒ ආවරණය හා බිත්ති අතර සෙන්ටිමීටර් හතළිස්හතරක පරතරයක් තැබිය යුතු ය. පළමු වන, දෙ වන, තෙ වන වශයෙන් තට්ටු තුනක් ඇති ව නැව සාදා එහි එක පැත්තක දොර තබන්න.</verse>
				<verse number="17">අහස යට සියලු සත්ත්වයන් වනසාලන පිණිස මම පොළෝ තලය මත ජලගැල්මක් පමුණුවන්නෙමි. එවිට පොළොව පිට ඇති සියලු දේ වැනසී යන්නේ ය.</verse>
				<verse number="18">එහෙත්, නුඹ සමඟ මම මගේ ගිවිසුම පිහිටුවන්නෙමි. නුඹ ද නුඹ සමඟ නුඹේ පුතුන් ද නුඹේ භාර්යාව ද නුඹේ පුතුන්ගේ භාර්යාවන් ද නැවට ඇතුළු විය යුතු ය.</verse>
				<verse number="19">පණ පිටින් රැකගනු පිණිස එක එක වර්ගයේ, සියලු සතුන්ගෙන් ගැහැණු-පිරිමි සතුන් වශයෙන් දෙදෙනෙකු බැගින් නුඹ සමඟ නැව තුළට රැගෙන යා යුතු ය.</verse>
				<verse number="20">නොමැරී බේරාගනු පිණිස සෑම වර්ගයක ම පක්ෂීන්ගෙන් ද සිවුපාවුන්ගෙන් ද උරගයන්ගෙන් ද දෙදෙනා බැගින් නුඹ සමඟ නැවට ඇතුළු විය යුතු ය.</verse>
				<verse number="21">කෑම පිණිස විවිධ ආහාර රැස් කරගෙන යන්න; ඒවා නුඹට ද ඔවුන්ට ද ආහාර පිණිස විය යුතු ය.”</verse>
				<verse number="22">මෙසේ දෙවියන් වහන්සේ අණ කළ සියල්ල නෝවා නොපිරිහෙළා ඉටු කෙළේ ය.</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">සමිඳාණන් වහන්සේ නෝවාට කතා කොට, “නුඹ ද, නුඹේ මුළු පවුල ද නැවට ඇතුළු වෙන්න; මන්ද, මිනිසුන් අතර නුඹ පමණක් මා ඉදිරියෙහි දැහැමි බව මම දුටුවෙමි.</verse>
				<verse number="2">තවද, නන් වැදෑරුම් සත්ත්ව වර්ග පොළෝ තලයෙහි නොකඩව බෝ වන පිණිස සියලු පවිත්‍ර සතුන්ගෙන් ගැහැණු-පිරිමි සතුන් වශයෙන් ජෝඩු හත බැගින් ද සියලු අපවිත්‍ර සතුන්ගෙන් ගැහැණු-පිරිමි වශයෙන් ජෝඩුවක් බැගින් ද</verse>
				<verse number="3">ආකාශ පක්ෂීන්ගෙන් ගැහැණු-පිරිමි සතුන් වශයෙන් ජෝඩු හත බැගින් ද රැගෙන යන්න.</verse>
				<verse number="4">තව හත් දවසකින් පොළොව මත දවල් සතළිසක් හා රාත්‍රි සතළිසක් වැසි වස්වන්නෙමි. මෙලෙස මා මැවූ ජීවමාන සියල්ලක් ම පොළෝ තලයෙන් ඉවත් කරදමන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="5">නෝවා ද සමිඳාණන් වහන්සේ අණ කළ සියල්ල ඉටු කෙළේ ය.</verse>
				<verse number="6">පොළොව මත ජලගැල්ම පැතිරෙන විට නෝවාට වයස අවුරුදු හයසියයක් විය.</verse>
				<verse number="7">ජලගැල්මෙන් බේරීමට නෝවා, සිය පුතුන් ද භාර්යාව ද පුතුන්ගේ භාර්යාවන් ද කැටුව නැවට ඇතුළු විය.</verse>
				<verse number="8">පවිත්‍ර සතුන්ගෙන් ද අපවිත්‍ර සතුන්ගෙන් ද පක්ෂීන්ගෙන් ද උරගයන්ගෙන් ද</verse>
				<verse number="9">ගැහැණු-පිරිමි සත්තු ජෝඩුව බැගින් දෙවියන් වහන්සේ නෝවාට අණ කළ ලෙස නෝවා සමඟ නැවට ඇතුළු වූ හ.</verse>
				<verse number="10">සත් දවසකට පසු මිහි පිට ජලගැල්ම ඇති විය.</verse>
				<verse number="11">නෝවාට වයස අවුරුදු හයසියයේ දී, දෙ වන මාසයේ හරියට ම දාහත් වන දින මහා සමුද්‍රයේ සියලු උල්පත් බිඳී ජලය ගලා ගියේ ය; අහසේ කවුළු විවෘත විය.</verse>
				<verse number="12">දවල් සතළිසක් හා රාත්‍රි සතළිසක් තිස්සේ පොළොව පිට වැසි වැස්සේ ය.</verse>
				<verse number="13">ඒ දවසෙහි ම නෝවා ද ඔහුගේ භාර්යාව ද ෂෙම්, හාම් හා ජපෙත් යන පුත්තු තිදෙනා ද ඔවුන්ගේ භාර්යාවෝ ද නැවට ඇතුළු වූ හ.</verse>
				<verse number="14">ඔවුන් සමඟ සෑම වර්ගයේ වන මෘගයෝ ද ගවමහිෂයෝ ද උරගයෝ ද පක්ෂීහු ද පියාපත් සහිත සත්තු ද නැවට ඇතුළු වූ හ.</verse>
				<verse number="15">සප්‍රාණික සියලු සත්තු, ගැහැණු-පිරිමි වශයෙන් ජෝඩුව බැගින් නැවට ඇතුළු වූ හ.</verse>
				<verse number="16">දෙවියන් වහන්සේ ඔහුට අණ කළ ලෙස සියලු සත්තු ගැහැණු-පිරිමි වශයෙන් ජෝඩුව බැගින් ඔහු සමඟ නැවට ඇතුළු වූ හ. සමිඳාණන් වහන්සේ නෝවා නැවට ඇතුළු කොට දොර වැසූ සේක.</verse>
				<verse number="17">පොළොව මත ජලගැල්ම දවස් සතළිසක් පුරා ගැලී ය. ජල මට්ටම නැගෙත් ම නැව පොළොවෙන් ඉලිප්පිණි.</verse>
				<verse number="18">මිහි පිට ජලය නොනැවතී නඟින්න, නඟින්න නැව දියත් විය.</verse>
				<verse number="19">පොළොව මත ගංවතුර වේගවත් ලෙස ගැලීමත් සමඟ අහස යට පිහිටි ඉතා උස් කඳු සියල්ල වතුරට යට විය.</verse>
				<verse number="20">කඳු යට කර, කඳු මුදුන්වලට ද ඉහළින් මීටර් හතරක් ගංවතුර නැංගේ ය.</verse>
				<verse number="21">පොළොව මත විසූ පක්ෂීහු ද ගවමහිෂයෝ ද වන මෘගයෝ ද උරගයෝ ද මිනිසා ද යන සියල්ලෝ මියගියෝ ය.</verse>
				<verse number="22">ගොඩබිම විසූ පණ ඇති සියලු සත්ත්වයෝ මියගිය හ.</verse>
				<verse number="23">උන් වහන්සේ ජීවමාන සියල්ල වන මිනිසා ද සිවුපාවුන් ද උරගයන් ද අහසේ පක්ෂීන් ද වනසා ඔවුන් මිහි පිටින් පහකරදැමූ සේක. නෝවා සහ ඔහු සමඟ නැවේ සිටි අය පමණක් ඉතිරි වූ හ.</verse>
				<verse number="24">පොළෝ තලය මත දවස් එකසිය පණහක් ම ජලගැල්ම පැවැතිණි.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">දෙවියන් වහන්සේ නෝවා ද, ඔහු සමඟ නැවේ සිටි සියලු වන මෘගයන් හා ගවමහිෂයන් ද සිහි කර, පොළොව මත සුළඟක් හමන්නට සැලැසූ සේක. ගංවතුර ක්‍රමයෙන් බැස ගියේය.</verse>
				<verse number="2">මහා සමුද්‍රයේ උල්පත් හා අහසේ කවුළු වැසිණි. අහසින් වැටුණු වැස්ස ද නැවතිණි;</verse>
				<verse number="3">පොළෝ තලයෙන් ගංවතුර ටිකින් ටික බැස යන්නට විය. දවස් එකසිය පණහකට පසු ගංවතුර බැස ගියේය.</verse>
				<verse number="4">සත් වන මාසයේ දහහත් වන දින නැව අරරත් කඳු වැටිය මත නැවතිණි.</verse>
				<verse number="5">ගංවතුර දස වන මාසය දක්වා නොනැවතී බැස ගියේ ය; දස වන මාසයේ පළමු වන දින කඳු මුදුන් පෙනිණි.</verse>
				<verse number="6">දවස් සතළිසකට පසු නෝවා තමා සෑදූ නැවේ කවුළුව ඇර</verse>
				<verse number="7">කපුටෙකු පිටතට යැවී ය. ඌ පොළොව මත ජලය සිඳෙන තුරු ඔබමොබ පියාඹා ගියේය.</verse>
				<verse number="8">පසුව නෝවා පොළොව මත ජලය බැස ගොස් තිබේ දැ යි බලනු පිණිස පරෙවියෙකු පිටතට යැවී ය.</verse>
				<verse number="9">එහෙත් පොළොව මත තවමත් ජලය රැඳී තිබුණු බැවින් ඌට පා තැබීමට තැනක් නොලැබ ඌ නෝවා වෙත නැවට ආපසු පැමිණියේ ය. එවිට ඔහු අත දිගු කර ඌ අල්ලා නැව තුළට ගත්තේ ය.</verse>
				<verse number="10">ඔහු තව සත් දවසක් බලා සිට පරෙවියා නැවෙන් පිටතට යළිත් යැවී ය.</verse>
				<verse number="11">සවස් කාලයේ දී ඌ ආපසු පැමිණියේ ය. පුදුමයකි! උගේ හොටෙහි අමු ඔලීව දළුවක් තිබිණි. මේ කරුණින් පොළොවෙන් ගංවතුර බැස ගොස් ඇති බව නෝවා දැනගත්තේ ය.</verse>
				<verse number="12">එවිට නෝවා තව දවස් සතක් බලා සිට පරෙවියා යළිත් පිටතට යැවී ය. ඌ ආපසු ඔහු වෙත පැමිණියේ නැත.</verse>
				<verse number="13">නෝවාට අවුරුදු හයසිය එකක් වූ කල පළමු වන මාසයේ පළමු වන දින පොළොව මතු පිටින් ජලය බැස ගොස් තිබිණි. එබැවින් නෝවා නැවේ ආවරණය ඉවත් කර පිටත බැලූ විට, පොළෝ තලය වියළී තිබුණු බව දිටී ය.</verse>
				<verse number="14">දෙ වන මස විසිසත් වන දින පොළොව සම්පූර්ණයෙන් ම වියළී තිබිණි.</verse>
				<verse number="15">එවිට දෙවියන් වහන්සේ නෝවාට කතා කොට,</verse>
				<verse number="16">“නුඹ, නුඹේ භාර්යාව ද නුඹේ පුත්‍රයන් ද ඔවුන්ගේ භාර්යාවන් ද සමඟ පිටතට එන්න.</verse>
				<verse number="17">නුඹ සමඟ සිටින ජීවමාන සියලු සතුන් වන, පක්ෂීන් ද ගවමහිෂයන් හා උරගයන් ද පොළොව පිට බහුල ව බෝ වී, වැඩි වර්ධනය වන පිණිස පිටතට ගෙනෙන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="18">මෙලෙස නෝවා සමඟ ඔහුගේ බිරිඳ ද ඔහුගේ පුත්තු ද ඔවුන්ගේ බිරින්දෝ ද පිටතට පැමිණියහ.</verse>
				<verse number="19">සියලු මෘගයෝ ද, ගවමහිෂයෝ ද පක්ෂීහු ද උරගයෝ ද තම වර්ගය අනුව රංචු ගැසී නැවෙන් පිටතට ආහ.</verse>
				<verse number="20">එවිට නෝවා සමිඳාණන් වහන්සේට පූජාසනයක් තනා, එක එක වර්ගයේ සියලු පවිත්‍ර සතුන්ගෙන් හා පක්ෂීන්ගෙන් එක එකා බැගින් පූජාසනය මත දවන පඬුරක් මෙන් පූජා කෙළේ ය.</verse>
				<verse number="21">සමිඳාණන් වහන්සේ ඒ යාග පූජාවන්හි මිහිරි සුවඳ ආඝ්‍රාණය කර මෙසේ සිතා ගත් සේක: “මිනිසා නිසා මින් මතු කවදා වත් මම පොළොවට සාප නොකරමි; යොවුන් වියේ පටන් මිනිසාගේ සිත නපුරට ඇදී යන බව මම දනිමි; මා මෙවර කළාක් මෙන් මින් මතු කවදා වත් සියලු ජීවමාන සතුන් විනාශ නොකරන්නෙමි.</verse>
				<verse number="22">පොළොව පවතින තෙක්, වැපිරීම හා කැපීම ද ශීත හා උණුසුම ද සිසිර හා ගිම්හානය ද දවාල හා රාත්‍රිය ද නොකඩවා පවතිනු ඇත.”</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">දෙවියන් වහන්සේ නෝවාටත්, ඔහුගේ පුත්‍රයන්ටත් ආශීර්වාද කරමින් මෙසේ වදාළ සේක: “නුඹලා දරුසම්පත් ලබා, වැඩි වර්ධනය වී, පොළොව පුරා පැතිර යන්න.</verse>
				<verse number="2">පොළොවේ සියලු වන සතුන් තුළ ද, අහසේ සියලු පක්ෂීන් තුළ ද, උරගයන් තුළ ද, මුහුදේ සියලු මසුන් තුළ ද නුඹලා කෙරෙහි බිය හා තැතිගැන්ම ඇති වන්නේ ය. මම උන් කෙරෙහි බලය නුඹලාට පවරමි.</verse>
				<verse number="3">මා නිල්වන් පැලෑටි නුඹලාට දුන් ලෙස සියලු සතුන් ද, නුඹලාට ආහාර පිණිස දෙමි.</verse>
				<verse number="4">එහෙත්, ජීව ධාතුව වන ලෙය සමඟ මස් නුඹලා නොකෑ යුතු ය.</verse>
				<verse number="5">යමෙකු නුඹ මැරුවොත් මම ඔහුට මරණීය දඬුවම දෙමි. සතෙකු හෝ මිනිසෙකු හෝ නුඹ මැරුවොත් මම ඌ හෝ ඔහු හෝ වනසා දමමි. මිනිසා මිනිසෙකු මැරුවොත් මම ඔහු ද වනසාලමි.</verse>
				<verse number="6">
					මිනිසා, මිනිසෙකුගේ ලේ වගුරුවයි ද ඔහුගේ ලේ ද මිනිසෙකු විසින් ම වගුරුවනු ලැබේ. ඒ මන්ද, මිනිසා, දෙවියන් වහන්සේගේ ස්වරූපය අනුව මවනු ලැබූ බැවිනි.
				</verse>
				<verse number="7">“නුඹලා දරුසම්පත් ලබා, වැඩි වර්ධනය වී, ලොව පුරා පැතිර එය යටත් කරගන්න.”</verse>
				<verse number="8">දෙවියන් වහන්සේ නෝවාට ද ඔහුගේ පුත්‍රයන්ට ද කතා කොට,</verse>
				<verse number="9">“මෙන්න, මම නුඹලා සමඟ ද නුඹලාගේ පෙළපත සමඟ ද</verse>
				<verse number="10">නුඹලා සමඟ නැවෙන් නික්මුණු සියලු ජීවමාන සතුන් වන, පක්ෂීන්, ගවමහිෂයන් හා මෘගයන් සමඟ ද ගිවිසුමක් පිහිටුවමි.</verse>
				<verse number="11">නුඹලා සමඟ පිහිටුවන ලද ගිවිසුම වනාහි මින්පසු කවදා වත් ජලගැල්මකින් සියලු ජීවමාන සතුන් විනාශ කරනු නොලබන බවත්, මින්පසු කවදා වත් ජලගැල්මකින් මහ පොළොව වනසනු නොලබන බවත් ය”යි වදාළ සේක.</verse>
				<verse number="12">තවද, දෙවියන් වහන්සේ කතා කොට, “මා හා නුඹලා ද, නුඹලා සමඟ සිටින සියලු ජීවමාන සතුන් ද අතර, මතු සියලු පරම්පරාවන් සඳහා මා පිහිටුවන ගිවිසුම් ලකුණ නම් මෙය යි.</verse>
				<verse number="13">වලාකුළුවල මම මාගේ දේදුන්න තබමි; මා හා ලෝකයා අතර පිහිටුවන ලද ගිවිසුම් ලකුණ එය වන්නේ ය.</verse>
				<verse number="14">පොළොවට ඉහළින් වලාකුළු පැමිණ වලාකුළු අතර දේදුන්න දිස්වන කල,</verse>
				<verse number="15">මා හා නුඹලා ද, සියලු ජීවමාන සතුන් ද අතර මින් මතු කවදා වත් ජලගැල්මකින් සියලු ජීවමාන සතුන් විනාශ නොකිරීමට පිහිටුවාගත් ගිවිසුම සිහි කරන්නෙමි.</verse>
				<verse number="16">වලාකුළු අතර දේදුන්න පෙනෙන විට, මම එය දෙස බලන්නෙමි. එය දැක, මා හා මිහි පිට සියලු ජීවමාන සතුන් අතර පිහිටෙවු සදාතන ගිවිසුම සිහි කරන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="17">දෙවියන් වහන්සේ නෝවාට කතා කොට, “මා හා මිහි පිට සියලු ජීවමාන සතුන් අතර පිහිටුවන ලද ගිවිසුම් ලකුණ මේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="18">නැවෙන් පිටතට පැමිණි නෝවාගේ පුත්‍රයෝ නම් ෂෙම්, හාම් සහ ජපෙත් ය. හාම් කානාන්ගේ පියා ය.</verse>
				<verse number="19">පොළොව පුරා මුළු ජනගහණය ඇති වූයේ නෝවාගේ මේ පුතුන් තිදෙනාගෙන් ය.</verse>
				<verse number="20">ගොවියෙකු වූ නෝවා මිදි වත්තක් වැවූ පළමු මිනිසා විය.</verse>
				<verse number="21">ඔහු මිදියුස පානය කොට, වෙරිමත් ව, සිය කූඩාරමෙහි නග්න ව වැතිර සිටියේ ය.</verse>
				<verse number="22">කානාන්ගේ පියා වන හාම් සිය පියාගේ නග්න භාවය දුටු විට, ඔහු ගොස් පිටත සිටි තමාගේ සොහොයුරන් දෙදෙනාට එපවත් කී ය.</verse>
				<verse number="23">එවිට ෂෙම් හා ජපෙත් සළුවක් ගෙන, උරහිස් මත තබා ගෙන, පස්සෙන් පස්සට ගොස්, සිය පියාගේ නග්න භාවය වසා දැමූ හ; ඔව්හු තම පියාගේ නග්න භාවය නොදකින ලෙස තමන්ගේ මුහුණු අහකට හරවා ගෙන සිටිය හ.</verse>
				<verse number="24">නෝවා ද, වෙරි මත සිඳුණු පසු පිබිද, තම බාල පුත්‍රයා තමාට කළ දේ දැන ගත් විට,</verse>
				<verse number="25">“කානාන් සාප ලද්දෙක් වේ වා! ඔහු තම සහෝදරයන්ගේ දාසයන්ට දාසයෙක් වේ වා!”යි කී ය.</verse>
				<verse number="26">ඔහු තවදුරටත් කතා කරමින්, “ෂෙම්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! කානාන් ෂෙම්ගේ වහලෙක් වේ වා!”යි ද,</verse>
				<verse number="27">“දෙවියෝ ජපෙත් වර්ධනය වන්නට සලසත් වා! ඔහුගේ පෙළපත ෂෙම්ගේ ජනයා සමඟ වාසය කරත් වා! කානාන් ජපෙත්ගේ ද වහලෙක් වේ වා”යි ද කී ය.</verse>
				<verse number="28">මහා ජලගැල්මෙන් පසු නෝවා අවුරුදු තුන්සිය පණහක් ජීවත් විය.</verse>
				<verse number="29">ඔහු අවුරුදු නවසිය පණහක් ආයු වළඳා මියගියේය.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">නෝවාගේ දරුවන් වන ෂෙම්, හාම් සහ ජපෙත් යන තිදෙනාගේ පරම්පරා මෙසේ ය. මහා ජලගැල්මෙන් පසු ඔවුන්ට පුත්‍රයෝ උපන්නා හ.</verse>
				<verse number="2">ජපෙත්ගේ පුත්‍රයෝ නම්: ගොමෙර්, මාගොග්, මාදයි, ජාවාන්, තුබල්, මෙෂෙක් සහ තීරස් ය.</verse>
				<verse number="3">ගොමෙර්ගේ පුත්‍රයෝ නම්: අෂ්කෙනස්, රිපත් සහ තොගර්මා ය.</verse>
				<verse number="4">ජාවාන්ගේ පුත්‍රයෝ නම්: එලිෂා, තර්ෂිෂ්, කිත්තිම් සහ දෙදානිම් වැසියෝ ය.</verse>
				<verse number="5">මොවුන්ගෙන් වෙරළබඩ පෙදෙස්වලට සහ දිවයින්වලට ජනතාව පැතිරී ගිය හ. කණ්ඩායම් වශයෙන් තමන්ගේ ම භාෂාව කතා කරන, විවිධ ගෝත්‍රවලට අයත්, විවිධ රටවල වසන මොවුහු ජපෙත්ගේ පරම්පරාවෙන් පැවත එන්නෝ වෙති.</verse>
				<verse number="6">හාම්ගේ පුත්‍රයෝ නම්: කුෂ්, මිශ්‍රයිම්, පූට් සහ කානාන් ය.</verse>
				<verse number="7">කුෂ්ගේ පුත්‍රයෝ නම්: ෂෙබා, හවීලා, සබ්තා, රාමා සහ සබ්තෙකා ය. රාමාගේ පුත්‍රයෝ නම්: ෂෙබා සහ දෙදාන් ය.</verse>
				<verse number="8">කුෂ්ට දාව නිම්රොද් නම් පුතෙක් උපන්නේ ය. ඔහු ලෝකයේ පළමු වන බලසම්පන්න පාලකයා විය.</verse>
				<verse number="9">සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔහු විශිෂ්ටතම දඩයම්කාරයා ද විය. “සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි විශිෂ්ටතම දඩයම්කාරයා වූ නිම්රොද් වාගේ ය”යි යන කියමන ද ඇති වූයේ එසේ ය.</verse>
				<verse number="10">ෂිනාර් දේශයෙහි ඔහු පාලනය කළ පළමු වන රාජ්‍යයට බාබෙල්, එරෙක්, අක්කද් සහ කල්නේ යන පෙදෙස් අයත් විය.</verse>
				<verse number="11">ඒ දේශයෙන් අසිරියාවට නික්ම ගොස් නිනිවය ද රෙහොබොත්-ඊර් නගරය ද කලා ද</verse>
				<verse number="12">නිනිවය සහ කලා අතර වූ මහ නගරයක් වන රෙසෙන් ද ගොඩනැඟී ය.</verse>
				<verse number="13">මිශ්‍රයිම් වනාහි ලුදිම්වරුන්ගේ ද අනාම්වරුන්ගේ ද ලෙහාබිම්වරුන්ගේ ද නප්තුහිම්වරුන්ගේ ද</verse>
				<verse number="14">පත්රුසිම්වරුන්ගේ ද කස්ලුහිම්වරුන්ගේ ද කප්තොරිම්වරුන්ගේ ද පියා විය. පිලිස්තිවරුන්ගේ පෙළපත ආයේ කප්තොරිම්වරුන්ගෙන් ය.</verse>
				<verse number="15">කානාන් වනාහි සිය කුලුඳුල් පුත් වන සීදොන්ගේ ද හෙක්ගේ ද</verse>
				<verse number="16">ජෙබුසිවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද ගිර්ගාෂිවරුන්ගේ ද</verse>
				<verse number="17">හිවීවරුන්ගේ ද අර්කිවරුන්ගේ ද සිනීවරුන්ගේ ද</verse>
				<verse number="18">අර්වාදිවරුන්ගේ ද ශෙමාරිවරුන්ගේ ද හමාතිවරුන්ගේ ද පියා විය. ඉන්පසු කානානිවරුන්ගේ ගෝත්‍රයෝ පැතිරී ගියෝ ය.</verse>
				<verse number="19">කානානිවරුන්ගේ දේශ සීමා සීදොන් සිට ගෙරාර් දෙසට පිහිටි ගාසා දක්වා ද සොදොම්, ගොමොරා, අදිමා සහ ශෙබොයිම් දෙසට පිහිටි ලාෂා දක්වා ද පැතිරී ඇත.</verse>
				<verse number="20">විවිධ ගෝත්‍රවලට අයිති ව, තම තමන්ගේ ම භාෂා කතා කරමින්, විවිධ දේශවල වසන, විවිධ ජාතීන්ට අයිති මොවුහු හාම්ගේ පෙළපතින් පැවත එන්නෝ ය.</verse>
				<verse number="21">එබෙර්ගේ සියලු පුත්‍රයන්ගේ මීමුතු පියා ද, ජපෙත්ගේ වැඩිමහල් සහෝදරයා ද වූ ෂෙම්ටත් පුත්‍රයෝ උපන්නෝ ය.</verse>
				<verse number="22">ෂෙම්ගේ පුත්‍රයෝ නම්: ඒලාම්, අෂුර්, අර්පක්ෂද්, ලූද් සහ අරාම් ය.</verse>
				<verse number="23">අරාම්ගේ පුත්‍රයෝ නම්: ඌශ්, හුල්, ගෙතෙර් සහ මෂ් ය.</verse>
				<verse number="24">අර්පක්ෂද් ෂෙලාගේ පියා ය. ෂෙලා ඒබෙර්ගේ පියා ය.</verse>
				<verse number="25">ඒබෙර්ට පුත්‍රයෝ දෙදෙනෙක් උපන්නෝ ය; එක් කෙනෙකුගේ නම පෙලෙග් ය; මිහි පිට මුළු මනුෂ්‍ය වර්ගයා බෙදී ගියේ ඔහුගේ කාලයේ දී ය. ඔහුගේ සහෝදරයාගේ නම ජොක්තන් ය.</verse>
				<verse number="26">ජොක්තන්ට දාව අල්මෝදාද්, ෂෙලෙප්, හශාර්මාවෙත්, ජෙරා,</verse>
				<verse number="27">හදෝරාම්, ඌසාල්, දික්ලා,</verse>
				<verse number="28">ඕබාල්, අබිමායෙල්, ෂෙබා,</verse>
				<verse number="29">ඕපිර්, හවීලා සහ ජෝබාබ් උපන්නෝ ය. මේ සියල්ලෝ ජොක්තන්ගේ පුත්‍රයෝ ය.</verse>
				<verse number="30">ඔවුන් විසූ ප්‍රදේශය මේෂා පටන් පෙරදිග කඳු දක්වා පිහිටි ෂෙපාර් අතර විය.</verse>
				<verse number="31">විවිධ ගෝත්‍රවලට අයිති ව, තම තමන්ගේ ම භාෂා කතා කරමින්, විවිධ දේශවල වසන, විවිධ ජාතීන්ට අයත් මොවුහු ෂෙම්ගේ පෙළපතින් පැවත එන්නෝ ය.</verse>
				<verse number="32">විවිධාකාර පරම්පරාවලට හා ජාතීන්ට අයත් මොවුහු නෝවාගේ පෙළපතින් පැවතෙන ගෝත්‍රයෝ ය. මහා ජලගැල්මෙන් පසු පොළෝ තලයෙහි සියලු ජාතීහු මොවුන්ගෙන් පැවත එන්නෝ වෙති.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">තවද, ඒ කාලයේ දී සකල ලෝවැසි මිනිසුන් කතා කෙළේ එක ම භාෂාවකි; භාවිත කෙළේ ද එක ම වචන මාලාවකි.</verse>
				<verse number="2">නැගෙනහිර දිශාවට යන අතර ෂිනාර් නම් ප්‍රදේශයේ තැනිතලාවක් සම්බ වී, ඔව්හු එහි පදිංචි වූ හ.</verse>
				<verse number="3">ඔව්හු එකිනෙකාට කතා කරමින්, “එන්න, අපි ගඩොල් සාදා, ඒවා හොඳට පුළුස්සමු”යි කී හ. මෙසේ ඔව්හු ගල් වෙනුවට ගඩොල් ද, හුණු බදාම වෙනුවට කීල් ද පාවිච්චි කළහ.</verse>
				<verse number="4">එවිට ඔව්හු කතා කොට, “එන්න, අපි අහස උසට නඟින කොතක් ඇති නගරයක් අපට ම ගොඩනඟා, කීර්තිමත් වෙමු. නැත්නම් මිහි පිට අපට සීසීකඩ විසිර යන්නට සිදු වනු ඇතැ”යි කී හ.</verse>
				<verse number="5">ඒ මිනිසුන් ගොඩනැගූ නගරය සහ කොත බැලීම සඳහා සමිඳාණන් වහන්සේ බැස වැඩිය සේක.</verse>
				<verse number="6">උන් වහන්සේ, “බලන්න, මේ සියල්ලෝ එක ම ජනතාවකි; ඔව්හු සියල්ලෝ ම එක ම භාෂාවක් කතා කරති; මේ ඔවුන් කරන්නට යන දේවල මුල් පියවර ය. වැඩි කල් යන්නට පෙර ඔවුන්ට කළ නොහැකි කිසි යම් දෙයක් නොවනු ඇත.</verse>
				<verse number="7">එබැවින් අපි බැස ගොස්, ඔවුන් එකිනෙකාට නොවැටෙහන පරිදි, ඔවුන්ගේ භාෂාව අවුල් වියවුල් කරමු”යි වදාළ සේක.</verse>
				<verse number="8">මෙසේ උන් වහන්සේ පොළෝ තලය මත ඔවුන් විසුරුවා හැරිය සේක. ඔව්හු ද නගරය ගොඩනැඟීම නැවැත්වූ හ.</verse>
				<verse number="9">සමිඳාණන් වහන්සේ ඒ නගරයෙහි දී මුළු ජනතාවගේ භාෂාව අවුල් වියවුල් කළ බැවින් ඊට ‘බාබෙල්’ යැයි නම යෙදිණි. එතැනින් සමිඳාණන් වහන්සේ ඔවුන් මහ පොළොව පුරා විසිර වූ සේක.</verse>
				<verse number="10">ෂෙම්ගේ පෙළපත මෙසේ ය: ෂෙම්ට අවුරුදු සියයක් වයස් වූ කල, මහා ජලගැල්මෙන් දෑවුරුද්දකට පසු, ඔහුට අර්පක්ෂද් උපන්නේ ය.</verse>
				<verse number="11">ඉන්පසු ඔහු තව අවුරුදු පන්සියයක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය.</verse>
				<verse number="12">අර්පක්ෂද්ට අවුරුදු තිස්පහක් වයස් වූ කල ඔහුට ෂේලා උපන්නේ ය.</verse>
				<verse number="13">ඉන්පසු ඔහු තව අවුරුදු හාරසිය තුනක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය.</verse>
				<verse number="14">ෂේලාට අවුරුදු තිහක් වයස් වූ කල ඔහුට ඒබෙර් උපන්නේ ය.</verse>
				<verse number="15">ඉන්පසු ඔහු තව අවුරුදු හාරසිය තුනක් ජීවත් විය. ඔහුට තවත් දැරුදැරියෝ උපන්නෝ ය.</verse>
				<verse number="16">ඒබෙර්ට අවුරුදු තිස්හතරක් වයස් වූ කල ඔහුට පෙලෙග් උපන්නේ ය.</verse>
				<verse number="17">ඉන්පසු ඔහු තව අවුරුදු හාරසිය තිහක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය.</verse>
				<verse number="18">පෙලෙග්ට අවුරුදු තිහක් වයස් වූ කල ඔහුට රෙයු උපන්නේ ය.</verse>
				<verse number="19">ඉන්පසු ඔහු තව අවුරුදු දෙසිය නවයක් ජීවත් විය. ඔහුට තවත් දැරුදැරියෝ උපන්නෝ ය.</verse>
				<verse number="20">රෙයුට අවුරුදු තිස්දෙකක් වයස් වූ කල ඔහුට සෙරුග් උපන්නේ ය.</verse>
				<verse number="21">ඉන්පසු ඔහු තව අවුරුදු දෙසිය හතක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය.</verse>
				<verse number="22">සෙරුග්ට අවුරුදු තිහක් වයස් වූ කල ඔහුට නාහෝර් උපන්නේ ය.</verse>
				<verse number="23">ඉන්පසු ඔහු තව අවුරුදු දෙසියයක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය.</verse>
				<verse number="24">නාහෝර්ට අවුරුදු විසිනවයක් වයස් වූ කල ඔහුට තේරා උපන්නේ ය.</verse>
				<verse number="25">ඉන්පසු ඔහු තව අවුරුදු එකසිය දහනවයක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය.</verse>
				<verse number="26">තේරාට අවුරුදු හැත්තෑවක් වයස් වූ කල ඔහුට ආබ්‍රම්, නාහෝර් සහ හාරාන් යන පුතුන් තිදෙන උපන්නෝ ය.</verse>
				<verse number="27">තේරාගේ පෙළපත මෙසේ ය: තේරා වනාහි ආබ්‍රම්, නාහෝර් සහ හාරාන්ගේ පියා ය. හාරාන් ලොත්ගේ පියා ය.</verse>
				<verse number="28">හාරාන් තමා උපන් රටේ ඌර් නම් කල්දිවරුන්ගේ නුවරෙහි, තම පියා වූ තේරා එතෙක් ජීවතුන් අතර සිටිය දී මියගියේය.</verse>
				<verse number="29">තවද ආබ්‍රම් ද නාහෝර් ද භාර්යාවන් පාවාගත්තෝ ය. ආබ්‍රම්ගේ භාර්යාවගේ නම සාරයි ය; නාහෝර්ගේ භාර්යාවගේ නම මිල්කා ය. ඈ ඉස්කාගේ පියා වූ හාරාන්ගේ දුව ය.</verse>
				<verse number="30">සාරයි වඳ ස්ත්‍රියක වූයෙන් ඈට දරුවෙක් නොවී ය.</verse>
				<verse number="31">තේරා තමාගේ පුත්‍රයා වන ආබ්‍රම් ද තම මුණුබුරා වන ලොත් ද ආබ්‍රම්ගේ බිරිඳ වූ, තම ලේලි වන සාරයි ද කැඳවාගෙන ඔවුන් සමඟ කානාන් දේශය බලා යන පිණිස ඌර් නම් කල්දිවරුන්ගේ නුවරින් පිටත් විය. එහෙත්, ඔව්හු හාරාන් දක්වා ගොස් එහි පදිංචි වූ හ.</verse>
				<verse number="32">තේරා අවුරුදු දෙසියපහක් ආයු වළඳා හාරාන්හි දී මියගියේය.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට කතා කොට, “නුඹේ මවු බිම ද නුඹේ නෑදෑයන් ද නුඹේ පියාගේ ගෘහය ද අත්හැරදමා, මා පෙන්වන්නට යන දේශයට යන්න.</verse>
				<verse number="2">මම නුඹ මඟින් විශාල ජාතියක් ඇති කරන්නෙමි; මම නුඹට ආශීර්වාද කරන්නෙමි; නුඹේ නාමය ආසිරි පැතීමේ නාමයක් වන සේ කීර්තියට පමුණුවන්නෙමි.</verse>
				<verse number="3">නුඹට ආසිරි පතන අයට මමත් ආසිරි පතමි. නුඹට දෙස් තබන අයට මමත් දෙස් තබමි. නුඹ මගෙන් ආසිරි ලත් අයුරින් මිහි මත සව් සත ආසිරි ලබනු ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="4">ආබ්‍රම්ට වයස අවුරුදු හැත්තෑපහක් වූ කල සමිඳාණන් වහන්සේ ඔහුට වදාළ ලෙසට, ඔහු හාරාන් දේශයෙන් පිටත් විය. ලොත් ද ඔහු සමඟ ගියේය.</verse>
				<verse number="5">මෙසේ ආබ්‍රම් සිය බිරිඳ වන සාරයි ද තම සොහොයුරාගේ පුත් වන ලොත් ද හාරාන් දේශයෙන් රැස් කරගත් සියලු සම්පත් හා දැසිදසුන් ද රැගෙන කානාන් දේශය බලා නික්ම ගොස් එහි සැපත් විය.</verse>
				<verse number="6">ආබ්‍රම්, ඒ දේශය ඔස්සේ ගමන් කර ෂෙකෙම් නගරයේ ශුද්ධ භූමිය වන මොරේහි ආලෝන අරඹ දක්වා පැමිණියේ ය. එකල ඒ රටේ කානානිවරු සිටියෝ ය.</verse>
				<verse number="7">එවිට සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට දර්ශනය වී, ඔහුට කතා කොට, “මම මේ දේශය නුඹේ පෙළපතට දෙන්නෙමි”යි වදාළ සේක. ආබ්‍රම් එහි දී තමන්ට දර්ශනය වූ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ඉදි කෙළේ ය.</verse>
				<verse number="8">ඉන්පසු ඔහු බෙතෙල් නගරයට නැගෙනහිරින් පිහිටි කඳුකර පෙදෙසට ගමන් කෙළේ ය. මෙසේ ගමන් කොට, බටහිරින් බෙතෙල් නගරය ද, නැගෙනහිරින් ආයි නගරය ද අතර තම කඳවුර පිහිටුවාගත්තේ ය. එහි දී ඔහු පූජාසනයක් ඉදි කර සමිඳාණන් වහන්සේගේ නාමය කියා යච්ඤා කෙළේ ය.</verse>
				<verse number="9">ඉන්පසු ඔහු එක තැනක නොරඳා අනුක්‍රමයෙන් ගොස් ‘නේගෙබ්’ ප්‍රදේශයට පැමිණියේ ය.</verse>
				<verse number="10">එහෙත්, ඒ දේශයෙහි සාගතයක් පැවතිණි. සාගතය අති උග්‍ර වූ බැවින්, ආබ්‍රම් තාවකාලික පදිංචියට මිසරයට ගියේය.</verse>
				<verse number="11">ඔහු මිසරයට සමීප වූ කල සිය බිරිඳ වන සාරයි අමතා, “මට සවන් දෙන්න, ඔබ කෙතරම් සුරූපී කාන්තාවක් දැ යි මම දනිමි.</verse>
				<verse number="12">මිසර වාසීන් ඔබ දුටු විට, ‘මේ ආබ්‍රම්ගේ බිරිඳ ය’යි කියා ඔබ ගැනීමට මා මරාදමා ඔබ බේරනු ඇත. එබැවින්, කරුණාකර, ‘මම ඔහුගේ සහෝදරී ය’යි ඔවුන්ට කියන්න.</verse>
				<verse number="13">එවිට ඔබ නිසා ඔවුන් මාගේ පණත් බේරා මට හොඳින් සලකනු ඇතැ”යි කී ය.</verse>
				<verse number="14">ආබ්‍රම් මිසරයට පිවිසි කල ඔහුගේ බිරිඳ ඉතා සුරූපී තැනැත්තියක බව මිසර වාසීහු දුටහ.</verse>
				<verse number="15">පාරාවෝගේ ඇමතිවරු ඈ දැක, ඇගේ රූපශ්‍රීය ඔහුට වර්ණනා කෙළෙන් ඇය රජ මාලිගාවට ගෙනයනු ලැබුවා ය.</verse>
				<verse number="16">රජ තෙමේ ද, ඇය නිසා ආබ්‍රම්ට හොඳින් සලකා ඔහුට එළු බැටළුවන් ද ගවයන් ද කොටළුවන් ද සේවක සේවිකාවන් හා කොටළු දෙනුන් හා ඔටුවන් ද ප්‍රදානය කෙළේ ය.</verse>
				<verse number="17">එහෙත්, පාරාවෝ ආබ්‍රම්ගේ භාර්යාව වූ සාරයි තබාගත් බැවින්, පාරාවෝ රජුට ද රජ වාසල අයට ද සමිඳාණන් වහන්සේ ඉතා දරුණු වසංගත පැමිණෙවු සේක.</verse>
				<verse number="18">එවිට පාරාවෝ ආබ්‍රම් කැඳවා, “ඔබ මට කළ මේ හදිය කුමක් ද?</verse>
				<verse number="19">ඈ ඔබේ බිරිඳ බව මට නො කීවේ මන් ද? ඈ ඔබේ සහෝදරිය ය කියා මට කීවේ කුමක් නිසා ද? මා ඈ පාවා ගත්තේ ඒ නිසා ය. මෙන්න, ඔබේ බිරිඳ, ඇය රැගෙන පිටත් ව යන්නැ”යි කී ය.</verse>
				<verse number="20">තවද, පාරාවෝ සිය පිරිසට ද අණ දුන් බැවින්, ඔව්හු ආබ්‍රම්, ඔහුගේ බිරිඳ සහ ඔහු සන්තක සියල්ල ද සමඟ රටින් පිටත් කර හැරියෝ ය.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">ආබ්‍රම් සිය බිරිඳ හා තමන් සතු සියල්ල රැගෙන මිසර දේශයෙන් පිටත් වී නේගෙබ් පළාත බලා ගියේය. ලොත් ද ඔහු සමඟ ගියේය.</verse>
				<verse number="2">ආබ්‍රම් ගවමහිෂයන්ගෙන් හා රන් රිදීයෙන් ඉතා ධනවතෙක් විය.</verse>
				<verse number="3">එවිට ආබ්‍රම් නේගෙබ් සිට කඳවුරෙන් කඳවුර ගෙවා බෙතෙල් දිශාවට යමින්, බෙතෙල් හා ආයි නුවර අතර, පළමුවෙන් කඳවුරු බැඳි ස්ථානයට පැමිණියේ ය.</verse>
				<verse number="4">පළමුවෙන් ඔහු පූජාසනයක් ඉදි කෙළේ මේ ස්ථානයේ ය. මෙහි දී ඔහු සමිඳාණන් වහන්සේගේ නාමය කියා යච්ඤා කෙළේ ය.</verse>
				<verse number="5">ආබ්‍රම් සමඟ ගමන් කළ ලොත්ට ද එළු බැටළු, ගවමහිෂයන් සහ ඔහු සමඟ කඳවුරු බැඳගත් පිරිසක් ද වූ හ.</verse>
				<verse number="6">එබැවින් ඔවුන් දෙදෙනාට ම පොදුවේ ජීවත් වීමට තරම් සෑහෙන තණ බිම් එහි නොතිබිණි. ඔවුන්ට අයිති ගවසම්පත් බොහෝ වූ බැවින් දෙදෙනාට එක් ව විසීමට නොහැකි විය.</verse>
				<verse number="7">එහෙයින් ආබ්‍රම්ගේ ගොපලුන් හා ලොත්ගේ ගොපලුන් අතර ආරාවුල් හට ගැනිණි. එකල කානානිවරු ද පෙරිස්සිවරු ද එම දේශයෙහි වාසය කළෝ ය.</verse>
				<verse number="8">එවිට ආබ්‍රම් ලොත්ට කතා කොට, “අප දෙගොල්ල ම නෑදෑයින් බැවින් ඔබ හා මා අතරත්, ඔබේ ගොපලුන් හා මාගේ ගොපලුන් අතරත් ආරාවුල් නො තිබිය යුතු ය.</verse>
				<verse number="9">මේ මුළු දේශය ම ඔබ ඉදිරියෙහි ඇත; කරුණාකර ඔබ මගෙන් වෙන් වී යන්න. ඔබ වමතට යන්නෙහි නම්, මම දකුණතට යමි. ඔබ දකුණතට යන්නෙහි නම්, මම වමතට යමි”යි කී ය.</verse>
				<verse number="10">ලොත් ද නෙත් ඔසවා ශොවර් දිශා භාගය දක්වා මුළු ජොර්දාන් තැනිතලාව දෙස බැලී ය. එහි හැම තැනට ම, සමිඳාණන් වහන්සේගේ උයනට මෙන් ද, මිසර දේශයට මෙන් ද මැනවින් ජලය සැපයුණු බව දිටී ය. මෙය සමිඳාණන් වහන්සේ සොදොම් සහ ගොමොරා නගරයන් විනාශ කිරීමට පෙර ය.</verse>
				<verse number="11">එබැවින් ලොත් තමාට මුළු ජොර්දාන් තැනිතලාව ම තෝරාගෙන නැගෙනහිර දෙසට ගියේ ය; ඒ දෙදෙනා මෙලෙස එකිනෙකාගෙන් වෙන් වූ හ.</verse>
				<verse number="12">ආබ්‍රම් කානාන් දේශයෙහි පදිංචි විය. ලොත් තැනිතලාවේ නගර අතර පදිංචි වී සොදොම් නගරය අසල කඳවුරු බැන්දේ ය.</verse>
				<verse number="13">සොදොම් නුවර වාසීහු සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ, නපුරු, මහ අපරාධකාරයෝ වූ හ.</verse>
				<verse number="14">ලොත් වෙන් වී ගිය පසු, සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට කතා කොට, “නුඹ සිටින තැන සිට නෙත් ඔසවා උතුර ද දකුණ ද නැගෙනහිර ද බටහිර ද දෙස සැලකිල්ලෙන් බලන්න.</verse>
				<verse number="15">නුඹට පෙනෙන මේ මුළු රට ම නුඹටත්, නුඹේ පෙළපතටත් සදහට ම මම දෙන්නෙමි.</verse>
				<verse number="16">ගණනින් පොළොවේ දූවිලි හා සමාන වන ලෙස නුඹේ පරපුර වැඩි වර්ධනය කරන්නෙමි. යමෙකුට පොළොවේ දූවිලි ගණන් කළ හැකි නම්, නුඹේ පෙළපත ද ගණන් කළ හැකි වේ.</verse>
				<verse number="17">දැන් නුඹ නැඟිට රට පුරා ම ඇවිදින්න. මම මේ සියල්ල ම නුඹට දෙන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="18">මෙසේ ආබ්‍රම් සිය කඳවුර රැගෙන විත් හෙබ්‍රොන්හි පිහිටි මම්රේහි ආලෝන අරඹ ළඟ පදිංචි වී, සමිඳාණන් වහන්සේට එහි පූජාසනයක් ඉදි කෙළේ ය.</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">එසමයෙහි ෂීනාර්හි රජ වූ අම්රාපෙල් ද, එල්ලාසාර්හි රජ වූ අරියොක් ද, එලාම්හි රජ වූ කෙදොර්-ලායොමෙර් ද, ගෝයිම්හි රජ වූ තිදාල් ද යන රජවරු වූ හ.</verse>
				<verse number="2">මොවුහු සොදොම්හි රජ වූ බෙරා ද, ගොමොරාහි රජ වූ බිර්ෂා ද, අද්මාහි රජ වූ ෂීනාබ් ද ශෙබොයිම්හි රජ වූ ෂෙමේබෙර් සහ බෙලාහි හෙවත් ශොවර්හි රජ ද යන රජවරු පස්දෙනාට විරුද්ධ ව යුද්ධ කළහ.</verse>
				<verse number="3">මෙකී රජවරු පස්දෙන දැන් මළ මුහුද නමින් හැඳින්වෙන සිද්දීම් මිටියාවතෙහි සමගි පෙරමුණක් බැඳ ගත්හ.</verse>
				<verse number="4">දොළොස් අවුරුද්දක් තිස්සේ කෙදොර්-ලායොමෙර් රජු යටතේ වහල් මෙහෙවර කළ මොවුහු දහතුන් වන අවුරුද්දේ දී කැරලිගැසූ හ.</verse>
				<verse number="5">දහහතර වන අවුරුද්දේ දී කෙදොර්-ලායොමෙර් සිය මිත්‍ර රජවරුන් සමඟ විත්, අෂ්තෙරොත්-කර්ණයිම්හි විසූ රෙපාවරුන් ද හාම්හි සිටි සුසිවරුන් ද කිරියාතායිම් තැනිතලාවේ විසූ ඒමිවරුන් ද</verse>
				<verse number="6">කාන්තාර මායිමේ ඒල්-පාරාන් දක්වා සේයිර් කඳුකරයේ සිටි හෝරිවරුන් ද පරාජය කළේ ය.</verse>
				<verse number="7">ඔව්හු හැරී ඇවිත් කාදෙෂ් හෙවත් ‘විමංසන-උල්පත’ යන අර්ථය ඇති ඒන්-මිෂ්පාට් දක්වා පැමිණ, අමලෙක්වරුන්ගේ මුළු දේශය ද, හශශොන්-තාමාර්හි විසූ අමෝරිවරුන් ද පරාජය කළහ.</verse>
				<verse number="8">එවිට සොදොම්, ගොමොරා, අද්මා, ශෙබොයිම් සහ බෙලා හෙවත් ශොවර් යන නුවරවල රජවරු පස්දෙනා නික්ම ගොස් සමගි පෙරමුණක් බැඳ,</verse>
				<verse number="9">ඒලාම්හි රජ වූ කෙදොර්-ලායොමෙර් ද, ගොයිම්හි රජ වූ තිදාල් ද, ෂීනාර්හි රජ වූ අම්රාපෙල් ද, එල්ලාසාර්හි රජ වූ අරියොක් ද යන රජවරුන් සතරදෙනාට විරුද්ධ ව සිද්දීම් මිටියාවතෙහි යුද්ධ කළහ. මෙය පස්දෙනෙකු, සතරදෙනෙකුට විරුද්ධ ව කරන සටනක් විය.</verse>
				<verse number="10">තවද, සිද්දීම් මිටියාවතෙහි බොහෝ කීල් පතල් තිබිණි. සොදොම් හා ගොමොරාහි රජවරු පලා ගොස්, ඒවායේ වැටුණාහ. සෙස්සෝ කඳුකරයට පලා ගියහ.</verse>
				<verse number="11">ජයග්‍රාහි රජවරු සොදොම් සහ ගොමොරාහි ධනසම්පත් ද, ඔවුන්ගේ ආහාර පාන ද රැගෙන යන්න ගියහ.</verse>
				<verse number="12">මෙසේ යන විට ඔව්හු සොදොම්හි විසූ ආබ්‍රම්ගේ බෑණා වන ලොත් සහ ඔහුගේ වස්තුවත් රැගෙන ගියහ.</verse>
				<verse number="13">එහෙත් ඔවුන්ගෙන් ගැළවී පැමිණි කෙනෙක් හෙබ්‍රෙව් ජාතික ආබ්‍රම්ට සියල්ල සැළ කෙළේ ය. එකල ආබ්‍රම් පදිංචි වී සිටියේ එෂ්කොල්ගේ හා අනෙර්ගේ සහෝදරයා වූ, අමෝරිය ජාතික මම්රේගේ ආලෝන අරඹ සමීපයේ ය. මොවුහු දෙදෙන ආබ්‍රම් සමඟ මිත්‍ර ගිවිසුමක් කරගෙන සිටියහ.</verse>
				<verse number="14">ආබ්‍රම් ද සිය ඥාතිවරයා සිරකරුවෙකු ලෙස අල්ලාගෙන ගිය බව ඇසූ විට, ඔහු සිය කඳවුරේ ම උපන් යුද්ධ පුහුණුව ලත් සේවකයන් තුන්සිය දහඅටදෙනෙකු රැගෙන, දාන් දක්වා සතුරන් ලුහුබැඳ ගියේය.</verse>
				<verse number="15">එහි දී ඔහුගේ පිරිස කණ්ඩායම් දෙකකට බෙදී රාත්‍රි කාලයේ සතුරන්ට පහර දී ඔවුන් පරාජය කළහ. මෙසේ පරාජය කොට දමස්කස් නුවරට උතුරින් පිහිටි හෝබා දක්වා ඔවුන් ලුහුබැඳ ගියෝ ය.</verse>
				<verse number="16">තවද, ආබ්‍රම් සියලු වස්තුව ද තම ඥාතිවර ලොත් ද ඔහුගේ ධන සම්පත ද ස්ත්‍රීන් හා අල්ලාගත් සෙනඟ ද ආපසු ගෙනාවේ ය.</verse>
				<verse number="17">සොදොම්හි රජ තෙමේ ආබ්‍රම් කෙදොර්-ලායොමෙර් හා මොහුගේ මිත්‍රපාක්ෂික රජවරුන් ද පරාජය කර ආපසු පැමිණි විට, ‘රාජකීය දෙණිය’ නම් වූ ෂාවේ මිටියාවතට ඔහු හමුවීම පිණිස ගියේය.</verse>
				<verse number="18">තවද, සාලෙම්හි රජ වූ පරමෝත්තම දෙවියන් වහන්සේගේ පූජක වූ මෙල්කිසෙදෙක් රොටි සහ මිදියුස ගෙනැවිත්</verse>
				<verse number="19">ඔහුට ආශීර්වාද කරමින්, “අහසත්, පොළොවත් මවා වදාළ පරමෝත්තම දෙවියන් වහන්සේ ආබ්‍රම්ට ආශීර්වාද කරන සේක් වා!</verse>
				<verse number="20">ඔබේ සතුරන්, ඔබ අතට පාවා දුන් පරමෝත්තම දෙවියන් වහන්සේට තුති පැසසුම් වේ වා!”යි කීවේ ය. ආබ්‍රම් ද සියල්ලෙන් දසයෙන් එක ඔහුට දුන්නේ ය.</verse>
				<verse number="21">එවිට සොදොම්හි රජ ආබ්‍රම්ට කතා කොට, “ධනසම්පත් ඔබට තබාගන්න. මාගේ සෙනඟ පමණක් මට දෙන්නැ”යි කී ය.</verse>
				<verse number="22">එහෙත්, ආබ්‍රම් රජුට පිළිතුරු දෙමින්, “අහසත්, පොළොවත් මවා වදාළ, පරමෝත්තම දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මම දිවුරා කියමි:</verse>
				<verse number="23">ඔබ සතු දෙයින් එක නූල් පොටක් වත්, සෙරෙප්පු පටියක් වත් මම නොගනිමි. ‘ආබ්‍රම් පොහොසතෙකු කළේ මම ය’යි කීමට ඔබට ඉඩක් මම නොතබමි.</verse>
				<verse number="24">මාගේ පිරිස අනුභව කළ දේ හා මා සමඟ ගිය මිනිසුන්ගේ කොටස මිස, මා සඳහා ම කිසිවක් මම නොගනිමි. අනේර් ද එෂ්කෝල් ද මම්රේ ද තම තමන්ගේ කොටස් ගනිත් වා”යි කී ය.</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">කලකට පසු සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට දර්ශනය වී, පණිවුඩයක් දෙමින්, “ආබ්‍රම්, බිය නොවන්න; නුඹ රක්නා පලිහ මම ය; නුඹේ වාසනාව අතිවිසල් ය”යි වදාළ සේක.</verse>
				<verse number="2">එහෙත්, ආබ්‍රම් උත්තර දෙමින්, “මහෝත්තම දෙවි ස්වාමීනි, දරුවෙකු නැති මට, ඔබ වෙන කුමක් දුන්නත් කුමන පලක් ද? මාගේ උරුමකරු දමස්කස්හි එලියේසර් වන මොහු ය.</verse>
				<verse number="3">ඔබ මට දරුසම්පත් දී නැත. එබැවින් මාගේ ගෙදර උපන් වහලෙක් මාගේ උරුමකරු වන්නේ ය”යි කී ය.</verse>
				<verse number="4">එවිට සමිඳාණන් වහන්සේ නැවතත් ඔහු අමතමින්, “මෙවැන්නෙක් නුඹේ උරුමකරු නොවන්නේ ය. නුඹට දාව උපන් නුඹේ ම දරුවෙක් නුඹේ උරුමකරු වන්නේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="5">සමිඳාණන් වහන්සේ ද ඔහු පිටතට රැගෙන ගොස්, “අහස දෙස බලා, හැකි නම්, ඔය තාරකා ගණන් කරන්න; නුඹේ දරු පරපුර එසේ ම වන්නේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="6">ආබ්‍රම් ද සමිඳාණන් වහන්සේ අදහා ගත්තේ ය. ඒ ඇදහිල්ල ඔහුගේ ධර්මිෂ්ඨකම වශයෙන් උන් වහන්සේ පිළිගත් සේක.</verse>
				<verse number="7">එවිට සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “මේ රට නුඹට උරුමයක් කර දෙනු පිණිස ඌර් නම් කල්දිවරුන්ගේ නුවරින් නුඹ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ මම ය”යි වදාළ සේක.</verse>
				<verse number="8">එහෙත්, ආබ්‍රම්; “මහෝත්තම දෙවි ස්වාමීනි, මට එය උරුම වන්නට යන බව මා දැනගන්නේ කෙසේ දැ”යි ඇසී ය.</verse>
				<verse number="9">උන් වහන්සේ ද ඔහුට පිළිතුරු දෙමින්, “තුන් අවුරුදු වැස්සියක ද තුන් අවුරුදු එළුදෙනෙක ද තුන් අවුරුදු බැටළුවෙකු ද කොබෙයියෙකු හා පරෙවි පැටවෙකු ද මා වෙත ගෙනෙන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="10">ආබ්‍රම් ද මේ සියල්ල උන් වහන්සේ වෙත ගෙන අවුත් ඔවුන් දෙපළු කොට, පළු දෙක එකිනෙකට මූණලා තැබී ය. එහෙත් ඔහු පක්ෂීන් දෙපළු කෙළේ නැත.</verse>
				<verse number="11">මේ මළසිරුරු පිට ගිජු ලිහිණියන් පාත් වූ කල ආබ්‍රම් උන් එළවාදැමී ය.</verse>
				<verse number="12">තවද, ඉර බැස යන විට ආබ්‍රම් බර නින්දකට වැටිණි. රුදුරු භීතියකින් ඔහු වෙළී ගියේය.</verse>
				<verse number="13">සමිඳාණන් වහන්සේ ද ඔහුට කතා කොට, “මෙය සැබැවින් ම දැනගන්න; නුඹෙන් පැවතෙන පෙළපත විදේශීය රටක විදේශික ව සිටිනු ඇත. එහි දී ඔව්හු වහල් සේවය කරමින් අවුරුදු හාරසියයක් තිස්සේ තාඩන පීඩන විඳින්නාහ.</verse>
				<verse number="14">එහෙත්, මා ඔවුන් මෙසේ වහල්කමට පත් කළ ඒ ජාතිය විනිශ්චය කළ පසු, ඔව්හු බොහෝ සම්පත් රැගෙන පිටත් ව යන්නාහ.</verse>
				<verse number="15">නුඹ යහතින් දවස් යවා, ඉන්පසු දිගායු සම්පත් වළඳා භූමදාන කරනු ලබන්නෙහි ය.</verse>
				<verse number="16">එහෙත්, සතර වන පරම්පරාවේ දී ඔව්හු නැවත මෙහි පැමිණෙන්නෝ ය. මන්ද, අමෝරිවරුන්ගේ දුෂ්ටකම තව ම නිම වී නැති හෙයිනැ”යි වදාළ සේක.</verse>
				<verse number="17">තවද, ඉර බැස යයි; අඳුර පැමිණෙයි; දෙපළු කරන ලද සතුන් මැදින් යන දුම් නඟින උදුනක් ද, දිළිසෙන ගිනි හුළක් ද, පෙනේ.</verse>
				<verse number="18">ඒ දවසේ දී සමිඳාණන් වහන්සේ ආබ්‍රම් සමඟ ගිවිසුමක් පිහිටුවමින්, “මිසරයේ ගංගාවේ සිට යුප්‍රටීස් මහ ගංගාව දක්වා</verse>
				<verse number="19">කේනිවරුන් හා කෙනිස්සිවරුන් ද, කද්මොනිවරුන් හා</verse>
				<verse number="20">හිත්තීවරුන් ද, පෙරිස්සිවරුන් හා රෙපාවරුන් ද,</verse>
				<verse number="21">අමෝරිවරුන් හා කානානිවරුන් ද, ගිර්ගාෂිවරුන් හා ජෙබුසිවරුන් ද සතු මේ දේශය නුඹේ පෙළපතට මම දෙමි”යි වදාළ සේක.</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">ආබ්‍රම්ගේ භාර්යාව වන සාරයිට දරුවෙක් උපන්නේ නැත. එහෙත්, ඈට හාගර් නම් මිසර ජාතික වහල් කෙල්ලක් සිටියා ය.</verse>
				<verse number="2">එබැවින් සාරයි ආබ්‍රම්ට කතා කොට, “බලන්න, සමිඳාණන් වහන්සේ මා දරු පල ලැබීමෙන් වළක්වා ඇත. කරුණාකර, මාගේ වහල් කෙල්ල වෙත යන්න. සමහරවිට ඇගෙන් මට දරුවෙකු ලැබෙන්න පුළුවනැ”යි කීවා ය. ආබ්‍රම් ද සාරයිගේ කීමට එකඟ විය.</verse>
				<verse number="3">මෙලෙස ආබ්‍රම් කානාන් දේශයෙහි අවුරුදු දහයක් විසූ පසු, ආබ්‍රම්ගේ භාර්යාව වන සාරයි මිසර ජාතික සිය වහල් කෙල්ල වන හාගර් සිය සැමියා වන ආබ්‍රම්ට භාර්යාව කොට දුන්නා ය.</verse>
				<verse number="4">ඔහු ඈ සමඟ එක් වූ පසු ඈ පිළිසිඳගත්තා ය. හාගර් පිළිසිඳගත් බව ඈ දැනගත් පසු, ඈ ඇගේ ස්වාමිදුව සුළු කොට සැලකුවෙන්,</verse>
				<verse number="5">සාරයි ආබ්‍රම්ට කතා කොට, “මට අවමානයක් සිදු වූයේ ඔබේ වරදින් ය. මම මාගේ වහල් කෙල්ල ඔබට අඹුවක වශයෙන් පාවා දුනිමි. තමා පිළිසිඳගත් බව ඈ දැනගත් පසු, ඈ මා සුළු කොට සිතන්නී ය. වරද කාගේ ද කියා දෙවියන්ට පෙනේ වා!”යි කීවා ය.</verse>
				<verse number="6">ආබ්‍රම් ද සාරයිට උත්තර දෙමින්, “මෙන්න, ඔබේ වහල් කෙල්ල, ඔබ ම ඈ බාරගන්න. ඔබ කැමැති දෙයක් ඇයට කරන්නැ”යි කී ය. එවිට සාරයි, ඇයට තදින් හිරිහැර කෙළෙන් ඈ තම ස්වාමිදුව වෙතින් පලා ගියා ය.</verse>
				<verse number="7">මෙසේ හාගර් පලා යද්දී ෂූර් දක්වා යන මාර්ගයෙහි තිබෙන පාළුකරයේ දිය උල්පතක් ළඟ දී සමිඳාණන් වහන්සේගේ දූතයාට ඈ හමු වූවා ය.</verse>
				<verse number="8">ඔහු ද කතා කොට, “හාගර්, සාරයිගේ වහල් කෙල්ල, ඔබ ආවේ කොහෙන් ද? යන්නේ කොහේ දැ”යි ඇසී ය. ඈ උත්තර දෙමින්, “මම මාගේ ස්වාමිදූ වන සාරයි වෙතින් පලා යමි”යි කීවා ය.</verse>
				<verse number="9">එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ඈට කතා කොට, “නුඹේ ස්වාමිදූ වෙත ආපසු හැරී යන්න. ගොස් ඇයට යටත් ව සිටින්නැ”යි කී ය.</verse>
				<verse number="10">ඔහු තවදුරටත් මෙසේ කී ය. “බොහෝ දරු පල මම ඔබට දෙමි; ගණන් නොකළ හැකි තරම් විපුල දරු පල ඔබට දෙමි.</verse>
				<verse number="11">ඔබ දරුවකු පිළිසිඳ ඇත; පුතකු බිහි කරනු ඇත; හිමිතුම ඔබ පීඩා හඬ ඇසූ බැවින් ඔහුට ඉෂ්මායෙල් යන නම තබන්න.</verse>
				<verse number="12">ඒ මිනිසා වල් මීමෙකි. කාටත් ඔහු එරෙහි වේවි. කවුරුත් ඔහුට එරෙහි වේවි. නෑදෑයින් හැරදමමින් කල් යවාවි.”</verse>
				<verse number="13">තවද, ඈ තමාට කතා කළ සමිඳාණන් වහන්සේට, ‘ඔබ සියල්ල දකින දෙවියෝ ය.’ යන අර්ථය ඇති එල්-රෝයි කියා නම් කළා ය. ඒ මන්ද, ‘මා දුටු තැනැන් වහන්සේ මාත් දැක මම තව ම ජීවත් ව සිටිනවා නොවෙම් දැ’යි ඈ තමාගෙන් ම ප්‍රශ්න කළ බැවිනි.</verse>
				<verse number="14">කාදේෂ් සහ බෙරෙද් අතර පිහිටි ඒ ළිඳට මා දක්නා ජීවමාන තැනැන් වහන්සේගේ ළිඳ යන අර්ථ ඇති ‘බෙයර්-ලහයි-රෝයි’ යන නම තබන ලද්දේ එබැවිනි.</verse>
				<verse number="15">හාගර් ආබ්‍රම්ගෙන් පුත්‍රයෙකු ලැබුවා ය. ආබ්‍රම් ඔහුට ඉෂ්මායෙල් යන නම තැබී ය.</verse>
				<verse number="16">මෙකල ආබ්‍රම්ගේ වයස අවුරුදු අසූහයක් විය.</verse>
			</chapter>
			<chapter number="17">
				<verse number="1">ආබ්‍රම් අවුරුදු අනූනවයක් ආයු වැළඳූ පසු සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී: “මම වනාහි සියලු බලැති දෙවියන් වහන්සේ වෙමි. නුඹ දිවි ඇති තාක් මට කීකරු වී, නිදොස් ව සිටින්න,</verse>
				<verse number="2">මම මාගේ ගිවිසුම නුඹ සමඟ පිහිටුවමි; නුඹේ පෙළපත ද බොහෝ සේ වැඩි කරන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="3">එවිට ආබ්‍රම් පසඟ පිහිටුවා වැඳ වැටිණි. දෙවියන් වහන්සේ ද ඔහු සමඟ කතා කරමින් මෙසේ වදාළ සේක:</verse>
				<verse number="4">“මා නුඹ සමඟ පිහිටුවන මාගේ ගිවිසුම නම් මේ ය; නුඹ බොහෝ ජාතීන්ගේ පියා වන්නෙහි ය.</verse>
				<verse number="5">මින්පසු නුඹේ නාමය ‘උතුම් පියා’ යන අර්ථය ඇති ආබ්‍රම් නොව ‘ජාතීන්ගේ පියාණෝ’ යන අර්ථය ඇති ‘ආබ්‍රහම්’ යයි කියනු ලබන්නේ ය. මන්ද, මා නුඹ බොහෝ ජාතීන්ගේ පියා කළ බැවිනි.</verse>
				<verse number="6">මම නුඹට බොහෝ දරුසම්පත් දෙමි; නුඹෙන් ජාතීන් උපදවන්නෙමි; නුඹෙන් රජවරු පහළ වන්නාහ.</verse>
				<verse number="7">“නුඹ සමඟ ද, නුඹෙන් පසු පරපුරෙන් පරපුරට නුඹෙන් පැවතෙන නුඹේ පෙළපත සමඟ ද, මාගේ ගිවිසුම පිහිටුවමි. මම නුඹේ ද, නුඹෙන් පසු පැවතෙන නුඹේ පෙළපත්වල ද දෙවියන් වහන්සේ වන බවට මාගේ සදාතන ගිවිසුම පිහිටුවමි.</verse>
				<verse number="8">නුඹ දැන් ආගන්තුක ව වසන මේ දේශය-මේ මුළු කානාන් දේශය, නුඹට ද, නුඹෙන් පසු පැවතෙන නුඹේ පෙළපතට ද මම සදහට ම අයිති කොට දෙමි. මම ද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි.”</verse>
				<verse number="9">දෙවියන් වහන්සේ තවදුරටත් කතා කරමින් මෙසේ වදාළ සේක: “නුඹ ද, නුඹෙන් පසු පරපුරෙන් පරපුරට පැවතෙන නුඹේ පෙළපත ද මාගේ ගිවිසුම ආරක්ෂා කළ යුතු ය.</verse>
				<verse number="10">නුඹ ද, නුඹේ පෙළපත ද සමඟ පිහිටුවන, නුඹ රැකගත යුතු, මාගේ ගිවිසුම නම් මේ ය: එනම්, නුඹලාගේ සියලු පිරිමි දරුවන් චර්මඡේදනය කළ යුතු ය.</verse>
				<verse number="11">නුඹලා නුඹලාගේ ලිංගාග්‍ර චර්මය ඡේදනය කළ යුතු ය. මෙය නුඹලාත් මාත් අතර පිහිටුවන ගිවිසුමේ සංකේතය වන්නේ ය.</verse>
				<verse number="12">නුඹලාගේ පෙළපත්වල සියලු පිරිමි දරුවන් දින අටක් වයස් වූ කල ඔවුන් චර්මඡේදනය කළ යුතු ය. ඔව්හු නුඹේ ගෘහයෙහි උපන්නෝ වුව ද, නුඹේ පෙළපතට අයත් නැති, විදේශිකයෙකුගෙන් මිලට ගත් අය වුව ද, ඔවුන් චර්මඡේදනය කළ යුතු ය.</verse>
				<verse number="13">ගෘහයෙහි උපන් තැනැත්තෝ වෙත් වා; නුඹ මිල දී ගත් තැනැත්තෝ වෙත් වා; ඔවුන් චර්මඡේදනය කළ යුතු ය. මාගේ ගිවිසුම සදාතන ගිවිසුමක් ලෙස නුඹේ මාංසයෙහි සලකුණු කරනු ලැබිය යුතු ය.</verse>
				<verse number="14">ලිංගාග්‍ර චර්මය ඡේදනය නොකළ අචර්මඡේදිත පිරිමි දරුවා ඔහුගේ පෙළපතින් නෙරපාදමනු ලැබේ. මන්ද, ඔහු මාගේ ගිවිසුම කඩ කර ඇති බැවිනි.”</verse>
				<verse number="15">තවද, දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට, “නුඹේ භාර්යාව වන සාරයිට ‘නින්දා ලද්දී’ යන අර්ථය ඇති ‘සාරයි’ යන නම නොකියන්න. මින්පසු ඇගේ නම ‘කාරුණික’ යන අර්ථය ඇති ‘සාරා’ වේ.</verse>
				<verse number="16">මම ඈට ද ආශීර්වාද කරමි. මම ඇගෙන් නුඹට පුත්‍රයෙකු දෙමි. සැබැවින් මම ඈට ආශීර්වාද කරන්නෙමි. ඈ ද බොහෝ ජාතීන්ගේ මාතාව වන්නී ය, ඇගේ පරපුරෙහි බොහෝ ජාතීන්ගේ රජවරු පහළ වන්නෝ ය”යි වදාළ සේක.</verse>
				<verse number="17">එවිට ආබ්‍රහම් පසඟ පිහිටුවා වැඳ, මඳක් සිනහ පාමින්, “සියක් අවුරුදු පිරුණු කෙනෙකුට දරුවෙකු උපදිනු හැකි ද? අනූ අවුරුදු වයසැති, සාරා දරුවෙකු ලබන්නී දැ”යි තමාට ම කියා ගත්තේ ය.</verse>
				<verse number="18">ආබ්‍රහම් ද දෙවියන් වහන්සේට කතා කොට, “ඔබ වහන්සේ ඉෂ්මායෙල් රැක බලා දෙන සේක් වා!”යි කී ය.</verse>
				<verse number="19">එහෙත්, උන් වහන්සේ උත්තර දෙමින්, “සැබැවින් ම නුඹේ බිරිඳ වන සාරා නුඹට පුතෙකු ලබා දෙන්නී ය. ඔහුට ‘සිනාසීම’ යන අර්ථය ඇති ‘ඊසාක්’ යන නම දෙන්න, මම ද මාගේ ගිවිසුම, සදාතන ගිවිසුමක් වශයෙන් ඔහු සමඟ ද, ඔහුගෙන් පැවතෙන පෙළපත සමඟ ද පිහිටුවමි.</verse>
				<verse number="20">ඉෂ්මායෙල් ගැන කළ නුඹේ ඉල්ලීමට මම සවන් දුනිමි. මෙන්න, මම ඔහුට ද ආශීර්වාද කරමි; ඔහුට දරුසම්පත් දී, ඔහුගෙන් විශාල පෙළපතක් ඇති කරමි; ඔහුට දාව රාජ කුමාරවරු දොළොස් දෙනෙක් උපදින්නාහ. මම ඔහුගේ පෙළපත විශාල ජාතියක් බවට පත් කරමි.</verse>
				<verse number="21">එහෙත්, ලබන අවුරුද්දේ මේ කාලයේ දී සාරා නුඹට උපදවන ඊසාක් සමඟ මම මාගේ ගිවිසුම පිහිටුවමි”යි වදාළ සේක.</verse>
				<verse number="22">මෙසේ කතා කොට නිම කළ පසු දෙවියන් වහන්සේ ආබ්‍රහම් වෙතින් ඉවත් ව ගිය සේක.</verse>
				<verse number="23">එවිට ආබ්‍රහම්, ඔහුගේ පුත් ඉෂ්මායෙල් ද තම ගෘහයේ උපන් සියලු දෙනා ද ඔහු මිල දී ගත් සියලු දෙනා ද ඇතුළු තම ගෘහයේ සියලු පිරිමින් ද රැගෙන, එක ම දවසේ දී දෙවියන් වහන්සේ කී පරිදි ඔවුන් සියල්ලන් චර්මඡේදනය කෙළේ ය.</verse>
				<verse number="24">ආබ්‍රහම් චර්මඡේදනය කරනු ලබන විට ඔහුට වයස අවුරුදු අනූනවයකි;</verse>
				<verse number="25">ඉෂ්මායෙල්ට අවුරුදු දහතුනකි.</verse>
				<verse number="26">ආබ්‍රහම් ද, ඔහුගේ පුත් ඉෂ්මායෙල් ද චර්මඡේදනය කරනු ලැබුවේ එක දවසේ ය.</verse>
				<verse number="27">ආබ්‍රහම් සමඟ තම ගෘහයේ උපන් පිරිමින් ද, විදේශීන්ගෙන් මිලට ගත් අය ද ඇතුළු සියලු පිරිමි චර්මඡේදනය කරන ලදහ.</verse>
			</chapter>
			<chapter number="18">
				<verse number="1">තවද, සමිඳාණන් වහන්සේ මම්රේහි ආලෝන අරඹ ළඟ දී ආබ්‍රහම්ට දර්ශනය වූ සේක. ඔහු දවාලේ තද අවුරස්නය ඇති වේලාවේ කූඩාරමේ දොරකඩ වාඩි වී සිටියේ ය.</verse>
				<verse number="2">ඔහු නෙත් ඔසවා බැලූ විට, පුදුමයකි! තමාට නුදුරින් මිනිසුන් තිදෙනෙකු සිටිනු දිටී ය. ඔවුන් දුටු විට ඔහු ඔවුන් හමුවීමට ගොස් හිස නමා, වැඳ වැටුණේ ය.</verse>
				<verse number="3">මෙසේ ආචාර කොට, “ස්වාමීනි, කරුණාකර, ඔබේ දාසයා ළඟ නැවතී යන මෙන් ඉල්ලමි.</verse>
				<verse number="4">මට අවසරයි; මම වතුර ටිකක් ගෙනෙන්නෙමි; ඔබ පාද සෝදාගෙන, ගස යට විවේක සුවය විඳින්න.</verse>
				<verse number="5">මම ද කෑම ටිකක් ගෙනෙන්නෙමි. එය වළඳා, ඔබේ ගත සිත සනසාගෙන, මේ ගමන යන්න. ඔබේ දාසයාගේ නිවසට ඔබ පැමිණියේ ඒ නිසා යැ”යි කී ය. ඔව්හු ද, “ඔබ කී ලෙස කරන්නෙමු”යි පිළිතුරු දුන්හ.</verse>
				<verse number="6">ආබ්‍රහම් ද වහා කූඩාරම තුළට ගොස්, සාරාට කතා කොට, “හොඳ ම පිටි ගෝණියක් ඉක්මනින් ගෙන, එයින් ටිකක් අනා, උදුන මත තබා රොටි පුළුස්සන්නැ”යි කී ය.</verse>
				<verse number="7">තවද, ඔහු ගව පට්ටියට දුව ගොස්, කදිම ළපටි වස්සෙකු ගෙන දාසයාට දුන්නේ ය. දාසයා ද ඌ ඉක්මනින් පිළියෙළ කෙළේ ය.</verse>
				<verse number="8">තවද, ආබ්‍රහම්, වෙඩරු හා කිරි ද, පිසින ලද වහු මස් ද ගෙන ආගන්තුකයන් ඉදිරියෙහි තැබී ය. ඔවුන් ඒවා වළඳන විට ඔහු ද ගස යට ඔවුන්ට සමීප ව සිටියේ ය.</verse>
				<verse number="9">එවිට ඔව්හු ආබ්‍රහම්ට කතා කොට, “නුඹේ බිරිඳ සාරා කොහේ දැ”යි ඇසූ හ. “ඈ කූඩාරම තුළ ය”යි ඔහු උත්තර දුනි.</verse>
				<verse number="10">එවිට අමුත්තා කතා කොට, “දරු උපතට නියම කාලය පැමිණි විට සත්තකට ම මම නුඹ වෙත නොවරදවා ආපසු එමි. එවිට නුඹේ භාර්යාව වන සාරා පුතෙකු ලබන්නී ය”යි කී ය. අමුත්තාට පිටුපසින් පිහිටි, කූඩාරමේ දොරකඩ සිටි සාරාට එය ඇසිණි.</verse>
				<verse number="11">ආබ්‍රහම් ද සාරා ද මහලු ව හොඳට ම වයස් ගත ව සිටිය හ. සාරාට ඔසප් වීම ද නැවතී තිබිණි.</verse>
				<verse number="12">එබැවින් සාරා, “දරු උපතක් නොලැබිය හැකි මහලු වියට පැමිණි පසුත්, මා අඹු-සැමි ප්‍රීතිය භුක්ති විඳින්න ද? ඇරත් මාගේ සැමියාත් දැන් මහල්ලෙකි”යි කියාගනිමින් සිනාසුණා ය.</verse>
				<verse number="13">එවිට සමිඳාණන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට, “මහලු වියට පැමිණි පසුත් හැබෑවට ම දරු උපතක් ලැබිය හැකි දැ යි කියාගනිමින් සාරා සිනාසුණේ ඇයි?</verse>
				<verse number="14">සමිඳාණන් වහන්සේට බැරි දෙයක් ඇද් ද? දරු උපතට නියම කාලය පැමිණි විට මම නුඹ වෙත ආපසු එමි. එවිට සාරා පුතෙකු ලබන්නී ය”යි වදාළ සේක.</verse>
				<verse number="15">සාරා ද බිය වී, “මා සිනාසුණේ නැතැ”යි කීවා ය. එහෙත්, අමුත්තා, “නැහැ, නුඹ සිනාසුණා ය”යි කී ය.</verse>
				<verse number="16">අමුත්තෝ තිදෙන ද එතැනින් නික්ම සොදොම් නුවර බලා පිටත් වූ හ. ආබ්‍රහම් ද මඟපෙන්වීමට ඔවුන් සමඟ ගියේය.</verse>
				<verse number="17">සමිඳාණන් වහන්සේ: “මා කරන්නට යන දෙය මම ආබ්‍රහම්ගෙන් සඟවම් ද?</verse>
				<verse number="18">මොහුගේ පෙළපත මහත් බලසම්පන්න ජාතියක් වන්නේ ය. මිහි පිට සියලු ජාතීන්, මා ආබ්‍රහම්ට ආශීර්වාද කළ ලෙස ඔවුන්ටත් ආශීර්වාද කරන මෙන් මගෙන් අයැදිනු ඇත.</verse>
				<verse number="19">ආබ්‍රහම් දැහැමිකමින් හා යුක්තියෙන් ජීවත් වෙමින් තමාගේ දරුවන්ට ද, තමාගෙන් පැවතෙන පෙළපතට ද සමිඳාණන් වහන්සේගේ මාර්ගය ආරක්ෂා කිරීමට අණ දෙන පිණිස මම ඔහු වෙන් කොට ගතිමි. මෙලෙස සමිඳාණන් වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වූ දේ ඔහුට ඉටු කරන සේකැ”යි තමන්ට ම කියාගත් සේක.</verse>
				<verse number="20">පසුව උන් වහන්සේ කතා කොට, “සොදොම් හා ගොමොරා නුවරවලට විරුද්ධ ව නඟින චෝදනා කෙතරම් දරුණු ද? ඔවුන්ගේ පාපය කෙතරම් බරපතල ද?</verse>
				<verse number="21">එබැවින් මම දැන් බැස ගොස් මා වෙත පමුණුවා ඇති චෝදනාවල ඇත්ත නැත්ත විභාග කරමි”යි වදාළ සේක.</verse>
				<verse number="22">එවිට අමුත්තෝ එතැනින් නික්ම සොදොම් බලා පිටත් වූ හ. එහෙත්, ආබ්‍රහම් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ම නැවතී සිටියේ ය.</verse>
				<verse number="23">ආබ්‍රහම් ද උන් වහන්සේට සමීප වී, “සැබැවින් ම ඔබ අදමිටුන් සමඟ දමිටුන් වත් වනසන සේක් ද?</verse>
				<verse number="24">හොඳයි! නුවරෙහි දමිටුන් පණස්දෙනෙක් සිටිත් නම්, මේ පණස්දෙන නිසා නුවර නොවනසා ඊට සමාව නොදෙන සේක් ද?</verse>
				<verse number="25">අදමිටුන් සමඟ දමිටුන් වනසාලීමේ අදහස ඔබෙන් දුරින් දුරු වේ වා! අදමිටුන් සමඟ දමිටුන් එක ම මිම්මෙන් මැනීම ඔබේ කැමැත්ත නො වේ වා! මුළු මිහි තලයේ විනිශ්චයකාරයාණෝ සාධාරණ ලෙස යුක්තිය ඉටු නොකරන සේක් දැ”යි ඇසී ය.</verse>
				<verse number="26">එවිට සමිඳාණන් වහන්සේ උත්තර දෙමින්, “සොදොම් නුවරෙහි දමිටුන් පණස්දෙනෙක් සිටිත් නම් ඔවුන් නිසා ඒ මුළු නුවරට මම සමාව දෙන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="27">ආබ්‍රහම් නැවතත් කතා කරමින්, “අළු හා දූවිල්ල පමණක් වූ මා, මාගේ සමිඳාණන් වහන්සේ සමඟ කතා කිරීමට තරම් නිර්භීත වීම ගැන මට සමාවන්න.</verse>
				<verse number="28">හොඳයි! නුවරෙහි දමිටුන් සතළිස්පස්දෙනෙක් සිටිත් නම් පස්දෙනෙකු අඩු නිසා ඔබ මුළු නුවර වනසාලන සේක් දැ”යි ඇසී ය. “එහි දමිටුන් සතළිස්පස්දෙනෙක් සිටිත් නම්, මම එය නොවනසමි”යි උන් වහන්සේ වදාළ සේක.</verse>
				<verse number="29">ආබ්‍රහම් යළිත් කතා කරමින්, “ඇතැම් විට එහි දමිටුන් සතළිස්දෙනෙකු සිටින්නට පුළුවනැ”යි කී ය. “ඒ සතළිස්දෙනා නිසා මම නුවර නොවනසමි”යි උන් වහන්සේ උත්තර දුන් සේක.</verse>
				<verse number="30">ආබ්‍රහම් නැවතත් කතා කරමින්, “ස්වාමීනි, ඔබ මා සමඟ නොකිපෙන සේක් වා! මම නැවතත් කතා කරමි. හොඳයි! එහි තිස්දෙනෙකු පමණක් සිටින්නට පුළුවනැ”යි කී ය. “ඒ තිස්දෙනා නිසා මම නුවර නොවනසමි”යි උන් වහන්සේ ද උත්තර දුන් සේක.</verse>
				<verse number="31">ආබ්‍රහම් තවදුරටත් කතා කරමින්, “සමිඳාණන් වහන්සේ සමඟ වාද කිරීමට ඉදිරිපත් වීම ගැන කමා වන්න. හොඳයි! එහි දමිටුන් විසිදෙනෙක් පමණක් ඇතැ යි හිතමු”යි කී ය. “ඒ විසිදෙනා නිසා මම නුවර නොවනසමි”යි උන් වහන්සේ පිළිතුරු දුන් සේක.</verse>
				<verse number="32">එවිට ආබ්‍රහම් යළිත් මෙසේ කී ය: “සමිඳාණන් වහන්සේ මා සමඟ නොකිපෙන සේක් වා! තව එක වරක් පමණක් කතා කිරීමට මට අවසරයි. හොඳයි! එහි දමිටුන් දහදෙනෙක් පමණක් ඇතැ යි හිතමු.” “ඒ දහදෙනා නිසා මම නුවර නොවනසාලමි”යි උන් වහන්සේ උත්තර දුන් සේක.</verse>
				<verse number="33">ආබ්‍රහම් සමඟ කතා කොට නිම වූ පසු උන් වහන්සේ යන්න ගිය සේක. ආබ්‍රහම් ද සිය නිවෙසට හැරී ගියේය.</verse>
			</chapter>
			<chapter number="19">
				<verse number="1">දූතයන් දෙදෙනා සවස් කාලයේ සොදොම් නුවරට පැමිණි විට නුවර වාසල් දොරකඩ ලොත් වාඩි වී සිටියේ ය. ලොත් ඔවුන් දුටු විට, නැඟිට ඔවුන් හමු වීමට ගොස්, හිස නමා වැඳ,</verse>
				<verse number="2">“මහතුනි, කරුණාකර, මේ ඔබේ දාසයාගේ නිවසට ඇතුළු වන්න, පාද සෝදාගෙන අද රෑ මෙහි නවතින්න. අලුයම නැඟිට ඔබ යන ගමන යන්නට පුළුවනැ”යි කී ය. එහෙත් ඔව්හු පිළිතුරු දෙමින්, “නැත, මුළු රැය ම අපි වීදියේ ගත කරන්නෙමු”යි කී හ.</verse>
				<verse number="3">එහෙත්, ඔහුගේ බලවත් පෙරැත්තය නිසා, ඔව්හු ඔහු සමඟ නිවසට ඇතුළු වූ හ. ඔහු ද නුමුහුන් රොටි පුළුස්සා, භෝජනයක් පිළියෙළ කළ පසු ඔව්හු එය වැළඳූ හ.</verse>
				<verse number="4">එහෙත්, අමුත්තන් නින්දට යන්නට පෙර ඒ සොදොම් නුවර සතර දිශාවෙන් පැමිණි, බාල මහලු සියල්ලෝ ගෙය වට කර,</verse>
				<verse number="5">ලොත්ට හඬගසමින්, “අද රෑ ඔබ වෙත පැමිණි මිනිස්සු කොහේ ද? අප ඔවුන් සමඟ කම් සැප විඳින පිණිස ඔවුන් පිටතට ගෙනෙන්නැ”යි කී හ.</verse>
				<verse number="6">ලොත් ද දොර වසාගෙන ඔවුන් වෙත පිටතට ආයේ ය.</verse>
				<verse number="7">ඔහු ඔවුන් අමතා, “මිතුරෙනි, මම වැඳ ඔබට කියමි: මෙවැනි නපුරුකමක් නොකරන්න.</verse>
				<verse number="8">මෙන්න, කන්‍යා දූවරු දෙදෙනෙක් මට සිටිති. මම ඔවුන් ඔබ වෙත ගෙනෙන්නෙමි. ඔබ කැමැති පරිදි ඔවුන් සමඟ හැසිරෙන්න. එහෙත්, මේ මිනිසුන්ට නම් කිසි නපුරක් නොකරන්න. ඒ මන්ද, මොවුහු මාගේ නිවසට පැමිණි අමුත්තෝ ය”යි කී ය.</verse>
				<verse number="9">එහෙත් ඔව්හු උත්තර දෙමින්, “මෙතැනින් ඉවතට යව. විජාතිකයෙකු මෙන් ඇවිත් නතර වූ මිනිසා දැන් ලොකු මිනිහෙකු වෙන්න යන හැටි! අර අයටත් වඩා සැර ගිනිගෙඩියක් අපි නුඹට දෙමු”යි කී හ. මෙසේ කියා ඔව්හු ලොත් තදින් තල්ලු කරගෙන අවුත් දොර කැඩීමට කිට්ටු වූවෝ ය.</verse>
				<verse number="10">එහෙත්, ඇතුළේ සිටි අමුත්තෝ දෑත දිගු කර, ලොත් ගෙය ඇතුළට ඇද, දොර වසාදැමූ හ.</verse>
				<verse number="11">පසුව, ඔව්හු පිටත දොර ළඟ සිටි ලොකු කුඩා සියල්ලන්ගේ ඇස් අන්ධ කළෝ ය. එයින් ඔවුන්ට දොර සොයාගැනීමට නොහැකි විය.</verse>
				<verse number="12">එවිට අමුත්තෝ දෙදෙන ලොත්ට කතා කොට, “ඔබට මෙහි වෙන කවුරුත් ඇද් ද? ඔබේ බෑණාවරුන් ද දරුදැරියන් ද මේ නුවර ඔබට සිටින සියල්ලන් ද රැගෙන මෙතැනින් පිටත් ව යන්න.</verse>
				<verse number="13">අපි මේ නුවර විනාශ කරන්නට යන්නෙමු. මෙහි වසන්නන්ට විරුද්ධ ව සමිඳාණන් වහන්සේ වෙත නැඟී ඇති චෝදනා ඉතා දරුණු බැවින්, මෙය විනාශ කිරීමට උන් වහන්සේ අප එවූ සේකැ”යි කී හ.</verse>
				<verse number="14">ලොත් ද පිටතට ඇවිත්, තමාගේ දූවරුන් සරණ පාවා ගන්නට සිටි බෑණාවරුන්ට කතා කොට, “කඩිනමින් මෙතැනින් ඉවතට යන්න, සමිඳාණන් වහන්සේ මේ නුවර විනාශ කිරීමට යන සේකැ”යි කී ය. එහෙත්, එය ඔහුගේ විහිළුවකැ යි බෑණාවරු සිතූ හ.</verse>
				<verse number="15">පහන් වූ කල දූතයෝ ලොත් ඉක්මන් කරවමින්, “ඔබේ භාර්යාව ද මෙහි සිටින ඔබේ දූවරුන් දෙදෙනා ද රැගෙන හනික පිටතට යන්න. එසේ නොකළොත් මේ නුවර වනසාලීමේ දී ඔබත් මැරී යත හැකි ය”යි කී හ.</verse>
				<verse number="16">එවිට ලොත් අදිමදි කෙළේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ ඔහුට අනුකම්පාව දැක්වූ සේක. අමුත්තෝ, ඔහු ද, ඔහුගේ බිරිඳ ද, දූවරුන් ද අතින් අල්ලාගෙන නිවසින් පිටතට ගෙන ගොස් නුවරින් පිටත නතර කළහ.</verse>
				<verse number="17">නුවරින් පිටතට ඔවුන් ගෙන ගිය පසු, එක දූතයෙක් ඔවුන්ට කතා කොට, “දැන් පණ බේරාගෙන ගැළවී යන්න; ආපසු නොබලන්න. මිටියාවතේ කිසි තැනක නොනවතින්න; නොමැරෙන පිණිස කඳුකරයට පලා යන්නැ”යි කී ය.</verse>
				<verse number="18">එහෙත්, ලොත් ඔවුන්ට උත්තර දෙමින්, “ස්වාමීනි, එසේ නො වේ වා!</verse>
				<verse number="19">ඔබේ දාසයා වන මට අනුකම්පා කරමින්, මාගේ පණ බේරාගැනීමට මට මඟපෙන්වීමෙන් ඔබ මට කරුණාව දක්වා ඇත. එහෙත්, කඳුකරයට පලායාම නම් මට නොහැකි ය. මඟ දී කිසි යම් විපතකට අසු වී මා මැරෙන්න පුළුවන.</verse>
				<verse number="20">බලන්න, අර නගරය, එය කුඩා වූවත් පලායාමට මට එය කිට්ටු ය. ගැළවී එහි යන්නට මට අවසරයි! ඒ කුඩා නගරයක් නොවේ ද? එහෙත්, මට එහි සුරක්ෂිත ව ඉන්නට පුළුවනැ”යි කී ය.</verse>
				<verse number="21">දූතයා ද ඔහුට පිළිතුරු දෙමින්, “මෙන්න, ඔබ මේ කියන දේටත් මම එකඟ වෙමි, ඔබේ කීම නිසා මම ඒ නගරය විනාශ නොකරමි.</verse>
				<verse number="22">කඩිනම් කරන්න. ගැළවීමට එහි දුවන්න. ඔබ එහි පැමිණෙන තෙක් මට කිසිවක් කළ නොහැකි ය”යි කී ය. මෙලෙස ‘සුළු’ යන අර්ථයෙන් ඒ නගරයට ශොවර් යන නම කියන ලදී.</verse>
				<verse number="23">ලොත් ශොවර් නුවරට ඇතුළු වූ කල හිරු උදා වී තිබිණි.</verse>
				<verse number="24">එවිට සමිඳාණන් වහන්සේ සොදොම් සහ ගොමොරා නගර පිට අහසින් ගෙන්දගම් සහ ගිනි වර්ෂා වහින්න සැලැස්වූ සේක.</verse>
				<verse number="25">උන් වහන්සේ ඒ නගර ද මුළු මිටියාවත ද නගර වාසීන් සෑම දෙන ද පොළොවේ ගස්කොළන් ද විනාශ කරදැමූ සේක.</verse>
				<verse number="26">ලොත්ගේ භාර්යාව ආපසු හැරී බැලුවා ය. එවේලේ ම ඈ ලුණු කණුවක් වූවා ය.</verse>
				<verse number="27">ආබ්‍රහම් උදෑසනින් නැඟිට, කලින් සමිඳාණන් වහන්සේ හමු වූ ස්ථානයට ගියේය.</verse>
				<verse number="28">ඔහු සොදොම් සහ ගොමොරා දෙස ද මුළු මිටියාවත දෙස ද බැලූ විට, පුදුමයෙන් පුදුමයකි! පොළොවෙන් බුර බුරා නඟින දුම් කඳ, උදුනකින් දමන දුමක් මෙන් දිටී ය.</verse>
				<verse number="29">එහෙත්, දෙවියන් වහන්සේ මිටියාවතේ නගර විනාශ කරන විට උන් වහන්සේ ආබ්‍රහම් සිහි කළ සේක. ලොත් විසූ නගර වනසන විට ඒ විපතින් උන් වහන්සේ ලොත් ගළවා හැරිය සේක.</verse>
				<verse number="30">තවද, ලොත් ශොවර්හි පදිංචි වීමට බිය වූයෙන් ඉන් පිටත් වී සිය දූවරුන් දෙදෙන සමඟ කඳුකරයට ගොස් එක් ගුහාවක ජීවත් විය.</verse>
				<verse number="31">මෙසේ සිටිය දී, දූවරුන් දෙදෙනාගෙන් වැඩිමහල් සොහොයුරිය, බාල සොහොයුරියට කතා කොට; “අපේ පියා දැන් මහලු ය. ලෝක සම්මත පිළිවෙළට අප සමඟ විවාහ වීමට මිහි පිට මිනිසෙක් නැත.</verse>
				<verse number="32">එන්න, අපි පියාට මිදියුස පොවා, පියාගේ පෙළපත රැකෙන පිණිස ඔහු සමඟ සේවනයෙහි යෙදෙමු”යි කීවා ය.</verse>
				<verse number="33">එදින රෑ තම පියාට මිදියුස පොවා අක්කා පියා සමඟ සයනය කළා ය. එහෙත්, ඈ කොතරම් වේලාවක් තමා සමඟ එක් ව සිටියා ද කවර වේලාවක නැඟිට්ටා ද කියා ඔහු නොදත්තේ ය.</verse>
				<verse number="34">පසු දින අක්කා නංගීට කතා කොට, “බලන්න, ඊයේ රෑ මම පියා සමඟ සේවනයෙහි යෙදුණෙමි; අද රෑටත් අපි ඔහුට මිදියුස පොවමු; පොවා, ඔබ ඇතුළු වී අප පියාගේ පෙළපත රකිනු පිණිස ඔහු සමඟ සේවනයෙහි යෙදෙන්නැ”යි කීවා ය.</verse>
				<verse number="35">එදින රෑ ද ඔව්හු පියාට මිදියුස පෙව්වෝ ය. පසුව නංගී ද ඔහු සමඟ සේවනයෙහි යෙදුණා ය. එහෙත්, ඈ කොතරම් වේලාවක් එක් ව සිටියා ද කවර වේලාවක නැඟිට්ටා ද කියා ඔහු නොදත්තේ ය.</verse>
				<verse number="36">මෙසේ ඔහුගේ දූවරු දෙදෙනා ම පියාට දාව දරුවන් පිළිසිඳගත්තාහ.</verse>
				<verse number="37">වැඩිමහල් සොහොයුරීට පුත්‍රයෙක් උපන්නේ ය. ඈ ඔහුට මෝවබ් යන නම තැබුවා ය. වර්තමාන මෝවබ්වරුන්ගේ ආදි පියා මොහු ය.</verse>
				<verse number="38">බාල සොහොයුරියට ද පුත්‍රයෙක් උපන්නේ ය. ඈ ඔහුට බෙන්-අම්මි යන නම තැබුවා ය. තත්කාලීන අම්මොන්වරුන්ගේ ආදි පියා මොහු ය.</verse>
			</chapter>
			<chapter number="20">
				<verse number="1">ආබ්‍රහම් මම්රේ පෙදෙසින් නික්ම නේගෙබ් පළාත බලා ගොස්, කාදෙෂ් සහ ෂූර් අතර පිහිටි ගෙරාර්හි කලකට පදිංචි විය.</verse>
				<verse number="2">තවද, ආබ්‍රහම් සිය බිරිඳ වන සාරා තමාගේ සහෝදරිය යි කී බැවින් ගෙරාර්හි රජ වූ අබිමෙලෙක් ඇය තමා වෙත ගෙන්වාගත්තේ ය.</verse>
				<verse number="3">එදින රාත්‍රියේ දෙවියන් වහන්සේ ස්වප්නයකින් අබිමෙලෙක්ට දර්ශනය වී, “නුඹ ගත් ස්ත්‍රිය විවාහක ස්ත්‍රියක වන හෙයින් නුඹ මැරෙන්නෙහි ය”යි වදාළ සේක.</verse>
				<verse number="4">එහෙත්, සාරාට සමීප නො වූ අබිමෙලෙක් උන් වහන්සේට කතා කොට, “ස්වාමීනි, ඔබ නිදොස් ජනයා පවා මරන සේක් ද?</verse>
				<verse number="5">ආබ්‍රහම් පවා ඈ තමාගේ සහෝදරී යැයි කීවා නොවේ ද? ඈ වුව ද ඔහු ඇගේ සහෝදරයා ය යි කීවා ය. මා මෙය කෙළේ හෘදය සාක්ෂියට එකඟ ව අවංක සිතකිනි”යි කී ය.</verse>
				<verse number="6">දෙවියන් වහන්සේ ද ස්වප්නයක් මඟින් ඔහුට පිළිතුරු දෙමින්, “සැබැවින් ම ඔබ මෙය කෙළේ අවංක සිතකින් බව මම දනිමි. මට විරුද්ධ ව පව් කිරීමෙන් මම ද නුඹ වළක්වාලීමි; ඈට අත තැබීමට මා නුඹට ඉඩ නුදුන්නේ ඒ නිසා ය.</verse>
				<verse number="7">එබැවින් දැන් එම බිරිඳ සිය සැමියාට ආපසු බාර දෙන්න. ඔහු දිවැසිවරයෙකු බැවින් ඔහු නුඹ උදෙසා යච්ඤා කරනු ඇත. නුඹ නොමැරෙන්නෙහි ය; එහෙත් නුඹ ඈ ආපසු බාර නොදෙන්නෙහි නම්, නුඹත්, නුඹ සතු සියල්ලත් නියත වශයෙන් ම මැරෙන බව දැනගන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="8">පසු දින අලුයම අබිමෙලෙක් අවදි ව, තම සේවකයන්ට අඬගසා, ඔවුන් ඉදිරියෙහි මේ සියල්ල කීවේ ය. ඔව්හු ද අතිශයින් බිය වූ හ.</verse>
				<verse number="9">එවිට අබිමෙලෙක් ආබ්‍රහම් කැඳවා, “යසයි, ඔබ අපට කළ දේ! මා පිටත්, මාගේ රාජ්‍යය පිටත් මේ සා බරපතල පාපයක් පැවරීමට මා ඔබට කළ වැරැද්ද කුමක් ද? ඔබ මට කර ඇත්තේ කොතරම් නොකටයුතු දෙයක් ද?</verse>
				<verse number="10">මෙය කිරීමට ඔබ පෙළඹුණේ කුමක් නිසා දැ”යි ඇසී ය.</verse>
				<verse number="11">ආබ්‍රහම් උත්තර දෙමින්, “ඇත්තෙන් ම දෙවියන් වහන්සේට බිය ඇති කෙනෙකු මෙහි නොසිටින බැවින් මාගේ භාර්යාව ලබාගැනීමට ඔවුන් මා මරාදමනු ඇතැ යි මම සිතුවෙමි.</verse>
				<verse number="12">එහෙත්, සැබැවින් ම ඈ මාගේ සොහොයුරී ය. ඈ මගේ මවගේ නොව පියාගේ දුව ය. මම ඈ සමඟ විවාහ වුණෙමි.</verse>
				<verse number="13">තවද, දෙවියන් වහන්සේ මාගේ පියාගේ ගෘහයෙන් පිට වී යන්නට මට සැලැසූ විට, ‘නුඹට මා වෙනුවෙන් පෙන්විය හැකි එක ම කරුණාව නම්, අප යන යන තැන, ‘ඔහු මාගේ සහෝදරයා ය’යි කියන මෙන් මම ඇගෙන් ඉල්ලීමි’ ”යි කී ය.</verse>
				<verse number="14">එවිට අබිමෙලෙක් ආබ්‍රහම්ගේ බිරිඳ වන සාරා ඔහුට ආපසු දුන්නේ ය. ඒ සමඟ ම බැටළුවන් ද ගවමහිෂයන් ද දාසදාසීන් ද රැගෙන ඔහුට දුන්නේ ය.</verse>
				<verse number="15">තවද අබිමෙලෙක් ඔහු අමතා, “මෙන්න, මාගේ රට ඔබ ඉදිරියෙහි ය. ඔබ එහි කැමැති තැනකට ගොස් පදිංචි වන්නැ”යි කී ය.</verse>
				<verse number="16">තවද, රජ තෙම සාරාට කතා කොට, “මෙන්න, මම ඔබේ සහෝදරයාට රිදී මිල දහසක් දුනිමි. එය ඔබ සමඟ සිටින සියල්ලන් ඉදිරියෙහි ඔබේ නිදොස් බව ඔප්පු කිරීමට සාක්ෂියක් වේ වා. ඔබ වැරැද්දක් නොකළ බව සියලු දෙන ම දැනගන්නෝ ය”යි කී ය.</verse>
				<verse number="17">ආබ්‍රහම් ද දෙවියන් වහන්සේට යච්ඤා කෙළේ ය. උන් වහන්සේ ද අබිමෙලෙක් සුවපත් කළ සේක; ඔහුගේ භාර්යාවට හා දාසීන්ට දරුසම්පත් ලැබෙන සේ ඔවුන් සුවපත් කළ සේක.</verse>
				<verse number="18">එසේ කෙළේ ආබ්‍රහම්ගේ භාර්යාව වූ සාරා නිසා අබිමෙලෙක්ගේ ගෘහයෙහි සියලු ම කාන්තාවන් උන් වහන්සේ වඳ බවට පත් කර තිබුණු හෙයිනි.</verse>
			</chapter>
			<chapter number="21">
				<verse number="1">තවද, සමිඳාණන් වහන්සේ වදාළ පරිදි උන් වහන්සේ සාරාට කරුණාව දැක්වූ සේක. උන් වහන්සේ ඈට දුන් පොරොන්දුව ඉටු කළ සේක.</verse>
				<verse number="2">සාරා ද පිළිසිඳගෙන, දෙවියන් වහන්සේ වදාළ නියමිත කාලයෙහි, ආබ්‍රහම්ගේ මහලු වයසෙහි ඔහුට දාව පුත්‍රයෙකු ලැබුවා ය.</verse>
				<verse number="3">ආබ්‍රහම්, තම පුත්‍රයාට ඊසාක් යන නම තැබී ය.</verse>
				<verse number="4">ඊසාක් වන තම පුතුට දින අටක් වූ කල දෙවියන් වහන්සේ අණ කළ පරිදි ආබ්‍රහම් ඔහු චර්මඡේදනය කෙළේ ය.</verse>
				<verse number="5">ඊසාක් උපදින විට ආබ්‍රහම්ට වයස අවුරුදු එකසියයකි.</verse>
				<verse number="6">සාරා ද කතා කරමින්, “දෙවියන් වහන්සේ මා හිනැස්සූ සේක. මේ ගැන අසන සියල්ලන් මා සමඟ සිනාසෙනු ඇත.</verse>
				<verse number="7">සාරා දරුවන්ට තනකිරි දෙති යි ආබ්‍රහම්ට කියන්නට කවරෙක් සිතුවේ ද? ඔහුගේ මහලු වියෙහි දී මම ඔහුට පුතෙකු දුනිමි”යි කීවා ය.</verse>
				<verse number="8">දරුවා වැඩී කිරි වැරුවේ ය. කිරි වැරූ දිනයෙහි ආබ්‍රහම් මංගල්‍යයක් පැවැත්විය.</verse>
				<verse number="9">ආබ්‍රහම්ට දාව මිසර ජාතික හාගර්ගෙන් ලැබූ ඉෂ්මායෙල් තම පුත්‍රයා වන ඊසාක්ට සරදම් කරනු එක් දිනක් සාරා දුටුවා ය.</verse>
				<verse number="10">එබැවින් ඈ ආබ්‍රහම්ට කතා කොට, “මේ දාසියත්, ඇගේ පුතාත් එලවා දමන්න, මේ දාසියගේ පුතු මාගේ පුත්‍රයා වන ඊසාක් සමඟ උරුමකරු නොවිය යුතු ය”යි කීවා ය.</verse>
				<verse number="11">ඉෂ්මායෙල් ඔහුගේ පුත්‍රයා වන බැවින්, මේ ඉල්ලීම නිසා ආබ්‍රහම් දැඩි සිත් වේදනාවට පත් විය.</verse>
				<verse number="12">එහෙත්, දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට, “නුඹ හාගර් හා ඉෂ්මායෙල් නිසා කණගාටු නොවන්න. සාරා නුඹට කී සියල්ලට ම සවන් දෙන්න. ඒ මන්ද, නුඹේ පෙළපත ඇති වන්නේ ඊසාක් මඟින් ය.</verse>
				<verse number="13">හාගර්ගේ පුත්‍රයා ද නුඹට දාව උපන් බැවින් ඔහුට ද මම පෙළපතක් දෙන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="14">පසු දින උදේ පාන්දරින් ආබ්‍රහම් නැඟිට රොටි ද වතුර බෝතලයක් ද ගෙන හාගර්ට දී, දරුවා ද ඇගේ කරේ තබා ඈ යන්න හැරියේ ය. ඈ ද නික්ම ගොස් බෙයර්-ෂෙබා නම් පාළුකරයේ මංමුළා වී ඇවිද්දා ය.</verse>
				<verse number="15">බෝතලයේ වතුර ඉවර වූ පසු ඈ පඳුරක් යට දරුවා තබා</verse>
				<verse number="16">හී සැරයක් පමණ දුර ගොස් වාඩි වූවා ය. “දරුවා මැරෙනවා මා බලා ඉන්නේ කොහොම දැ”යි කියමින් ඈ ගොස් ඈතින් හිඳගත්තා ය. දරුවා ද කෑගසමින් හැඬුවේ ය.</verse>
				<verse number="17">දරුවාගේ හඬ දෙවියන් වහන්සේට ඇසිණි. උන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට හාගර්ට කතා කොට, “ඔබ කරදර වී ඉන්නේ කුමක්නිසා ද? බිය නොවන්න. දරුවාගේ හැඬීම දෙවියන් වහන්සේට ඇසී ඇත.</verse>
				<verse number="18">නැඟිටින්න, දරුවා ඔසවා අතට ගන්න, මම ඔහුගෙන් විශාල පෙළපතක් ඇති කරමි”යි කීවේ ය.</verse>
				<verse number="19">දෙවියන් වහන්සේ ඇගේ නෙත් පැහැදූ විට ඈ වතුර ඇති ළිඳක් දුටුවා ය. ඈ ද ගොස් භාජනය පුරවා, දරුවාට බීමට දුන්නා ය.</verse>
				<verse number="20">දෙවියන් වහන්සේ ද ඒ දරුවා සමඟ වූ සේක. ඔහු වැඩී, පාළුකරයේ පදිංචි වී දුනුවායෙක් විය.</verse>
				<verse number="21">ඔහු පදිංචි වූ පාළුකරය පාරාන් නම් විය. ඔහුගේ මව ඔහුට මිසර දේශයෙන් බිරිඳක ගෙන දුන්නා ය.</verse>
				<verse number="22">ඒ කාලයෙහි අබිමෙලෙක් තමාගේ සෙන්පති පීකොල් සමඟ විත්, ආබ්‍රහම්ට කතා කොට, “ඔබ කරන සියල්ලෙහි දී දෙවියන් වහන්සේ ඔබ සමඟ ය.</verse>
				<verse number="23">එබැවින් ඔබ මට හෝ මාගේ දරු මුණුබුරන්ට හෝ වංචා නොකරන බවටත්, මා ඔබට දැක්වූ කරුණාව ලෙස මටත්, ඔබ විදේශී ව වසන මේ දේශයටත්, කරුණාව දක්වන බවටත් දෙවියන් වහන්සේගේ නාමයෙන් දැන් මෙහි දිවුරන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="24">ආබ්‍රහම් ද පිළිතුරු දෙමින්, “මම දිවුරමි”යි කී ය.</verse>
				<verse number="25">ඉන්පසු අබිමෙලෙක්ගේ සේවකයන් බලහත්කාරයෙන් පැහැරගත් එක්තරා ළිඳක් ගැන ආබ්‍රහම් අබිමෙලෙක්ට පැමිණිලි කෙළේ ය.</verse>
				<verse number="26">එවිට අබිමෙලෙක් උත්තර දෙමින්, “මෙය කෙළේ කවුදැ යි මම නොදනිමි. ඔබ ද මේ ගැන මට දැන්වූයේ නැත. මා මේ ගැන ඇසුවෙත් අද ය”යි කී ය.</verse>
				<verse number="27">ආබ්‍රහම් බැටළුවන් සහ ගවයන් රැගෙන අබිමෙලෙක්ට දුන්නේ ය. මෙලෙස දෙදෙන ගිවිසුමක් පිහිටුවාගත්හ.</verse>
				<verse number="28">තවද, ආබ්‍රහම් රැළෙන් බැටළු දෙනුන් හත්දෙනෙකු වෙන් කෙළේ ය.</verse>
				<verse number="29">අබිමෙලෙක් එවිට ආබ්‍රහම්ට කතා කොට, “ඔබ මේ බැටළු දෙනුන් හත්දෙනෙකු වෙන් කෙළේ මන්දැ”යි විචාළේ ය.</verse>
				<verse number="30">ඔහු ද උත්තර දෙමින්, “මේ ළිඳ මා විසින් කැණුණු බවට සාක්ෂියක් වශයෙන් මේ බැටළු දෙනුන් හත්දෙනා මාගේ අතින් ඔබ බාරගන්න පිණිස ය”යි කී ය.</verse>
				<verse number="31">එබැවින් ඒ ස්ථානයට ඔහු ‘බෙයර්-ෂෙබා’ යන නම තැබී ය. මන්ද, ඔවුන් දෙදෙනා ම එතැන්හි දී දිවුරුම් දුන් බැවිනි.</verse>
				<verse number="32">මෙලෙස ඔව්හු බෙයර්-ෂෙබාහි දී ගිවිසුමක් කරගත්හ. පසුව අබිමෙලෙක් ද ඔහුගේ සෙන්පති පීකොල් ද නැඟිට, පිලිස්තිවරුන්ගේ දේශයට හැරී ගියහ.</verse>
				<verse number="33">ආබ්‍රහම් ද බෙයර්-ෂෙබාහි ඒෂෙල් නම් ගසක් පැළ කොට එහි දී සදාතන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය කියා යච්ඤා කෙළේ ය.</verse>
				<verse number="34">ඔහු බොහෝ කාලයක් පිලිස්තිවරුන්ගේ දේශයෙහි පදිංචි ව සිටියේ ය.</verse>
			</chapter>
			<chapter number="22">
				<verse number="1">ඉනික්බිති දෙවියන් වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කරමින්, “ආබ්‍රහම්” කියා ඔහුට හඬගැසූ සේක. ඔහු ද, “ස්වාමීනි මම මෙහි ය” කියා උත්තර දුනි.</verse>
				<verse number="2">එවිට උන් වහන්සේ “නුඹ දැන්, නුඹේ පුත්‍රයා-නුඹ ප්‍රේම කරන නුඹේ එක ම පුත්‍රයා වන ඊසාක් ගෙන මොරියා දේශයට යන්න, එහි ගොස්, මා නුඹට පෙන්වන කන්ද මත දවන යාග පූජාවක් මෙන් ඔහු මට ඔප්පු කරන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="3">ආබ්‍රහම් උදෑසනින් නැඟිට, තම කොටළුවාට සෑදලය යොදා, සේවකයන් දෙදෙනෙකු ද සිය පුත් ඊසාක් ද රැගෙන, දවන යාග පූජාව සඳහා දර ද පළාගෙන දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට පිටත් ව ගියේය.</verse>
				<verse number="4">තුන් වන දින, ආබ්‍රහම් හිස ඔසවා බැලූ විට, දුරින් පිහිටි එම ස්ථානය දිටී ය.</verse>
				<verse number="5">එවිට ඔහු සිය සේවකයන්ට කතා කොට, “කොටළුවා සමඟ මෙහි නවතින්න, දරුවා ද මම ද අතනට ගොස්, වැඳ පුදා ආපසු එන්නෙමු”යයි කීවේ ය.</verse>
				<verse number="6">මෙසේ කියා ආබ්‍රහම් දවන යාග පූජාවට සූදානම් කළ දර සිය පුත් ඊසාක් මත තබා, තම අතට ගින්දර ද පිහිය ද ගෙන, දෙදෙනා ම එක් ව යන්න පිටත් වූ හ.</verse>
				<verse number="7">මෙසේ යද්දී, ඊසාක් තම පිය ආබ්‍රහම්ට, “තාත්තේ” කියා ඇමතූ විට, “පුතා, මම මෙහි ය”යි ඔහු පිළිතුරු දුනි. එවිට ඊසාක්, “තාත්තේ, මෙහි දරත් ඇත; ගින්දරත් ඇත; නමුත් පූජාවට බැටළු පැටවා කොහේ ද” කියා ඇසී ය.</verse>
				<verse number="8">එවිට ආබ්‍රහම්, “පුතා, දෙවියන් වහන්සේ ම පූජාව සඳහා බැටළු පැටවා දෙන සේකැ”යි පිළිතුරු දුනි. මෙලෙස දෙදෙනා ම ගමන් කළහ.</verse>
				<verse number="9">මෙසේ ගමන් කොට දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට ඔවුන් පැමිණි විට, ආබ්‍රහම් එහි පූජාසනයක් ඉදි කර, පිළිවෙළට දර කෑලි තබා, තම පුත් ඊසාක් බැඳ, පූජාසනය පිට තැනූ දර සෑය මත තැබී ය.</verse>
				<verse number="10">මෙසේ තබා ඔහු අත දිගු කොට, සිය පුතු මරනු පිණිස පිහිය ගත්තේ ය.</verse>
				<verse number="11">එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට, “ආබ්‍රහම්, ආබ්‍රහම්” කියා හඬගැසී ය. “මම මෙහි සිටිමි”යි ඔහු කී ය.</verse>
				<verse number="12">එවිට දූතයා, “ළමයාට අත නොගසන්න, ඔහුට කිසි අනතුරක් නොකරන්න, ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා පූජා කිරීමට තරම්, ඔබ දේව ගරුබිය ඇත්තෙකු බව මට දැන් පෙනේ ය”යි පැවසී ය.</verse>
				<verse number="13">එවිට ආබ්‍රහම් හිස ඔසවා බැලූ විට ඔහුට පිටුපසින් අංවලින් පඳුරක පැටලී සිටි බැටළුවෙකු දිටී ය. ආබ්‍රහම් ඌ වෙත ගොස් බැටළුවා ගෙන, සිය පුත්‍රයා වෙනුවට දවන යාග පූජාවක් මෙන් ඌ පූජා කෙළේ ය.</verse>
				<verse number="14">තවද, ආබ්‍රහම් ඒ ස්ථානයට “ජෙහොවා-ජීරේ” යන නාමය තැබී ය. මීට අද දක්වා “සමිඳාණන් වහන්සේගේ කන්දේදී සපයන ලදී” යන කීම ව්‍යවහාර වේ.</verse>
				<verse number="15">සමිඳාණන් වහන්සේගේ දූතයා දෙ වන වරටත් ස්වර්ගයේ සිට ආබ්‍රහම්ට කතා කොට,</verse>
				<verse number="16">“සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි මම දිවුරා කියමි. ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා පවා මට බිලි පූජා කිරීමට කැමැති වී මෙලෙස ක්‍රියා කළ බැවින්</verse>
				<verse number="17">මම බොහෝ සෙයින් ඔබට ආශීර්වාද කරමි. ඔබේ දරු පෙළපත අහසේ තාරකා මෙන් ද වෙරළේ වැලි මෙන් ද බහුල වන සේ වර්ධනය කරමි. ඔබේ පෙළපත සතුරන් පරදා රට හිමි කරගන්නෝ ය.</verse>
				<verse number="18">ඔබ මාගේ හඬට කීකරු වූ බැවින්, මිහි පිට සියලු ජාතීහු ඔබ මඟින් ආසිරි ලබන්නෝ ය”යි කී ය.</verse>
				<verse number="19">ආබ්‍රහම් පසු ව තම සේවකයන් වෙත ආපසු ගිය විට, ඔව්හු සියල්ලෝ ම නැඟිට ගොස් බෙයර්-ෂෙබාවෙහි පදිංචි වූ හ.</verse>
				<verse number="20">ඉනික්බිති තම සොහොයුරු නාහෝර්ගෙන් මිල්කා දරුවන් ලැබූ බව ආබ්‍රහම්ට දැනගන්නට ලැබිණි.</verse>
				<verse number="21">ඔවුන් නම්, කුලුඳුල් පුත්‍රයා වූ ඌශ් ද, ඔහුගේ සහෝදර වූ බුශ් ද, ආරම්ගේ පියා වූ කෙමුවෙල් ද,</verse>
				<verse number="22">කෙසෙද් ද හශෝ ද, පිල්දාෂ් ද, ජිද්ලප් ද බෙතුයෙල් ද ය.</verse>
				<verse number="23">මිල්කා ආබ්‍රහම්ගේ සහෝදර වූ නාහෝර්ගෙන් මේ දරුවන් අටදෙනා ලැබුවා ය. තවද, බෙතුයෙල්ට දාව රෙබෙකා උපන්නා ය.</verse>
				<verse number="24">නාහෝර්ගේ උපභාර්යාව වන රෙයුමා, තෙබා, ගහම්, තහෂ් හා මයකා යන දරුවන් ලැබුවා ය.</verse>
			</chapter>
			<chapter number="23">
				<verse number="1">සාරා අවුරුදු එකසිය විසිහතක් ආයු වළඳා</verse>
				<verse number="2">කානාන් දේශයේ හෙබ්‍රොන් හෙවත් කිර්යත්-අර්බාහි දී මියගියා ය. ආබ්‍රහම් ඈ ගැන හඬා වැලපුණේ ය.</verse>
				<verse number="3">පසුව ඔහු ඇයගේ මළසිරුර ළඟින් නැඟිට, හිත්තීවරුන්ට කතා කොට,</verse>
				<verse number="4">“ආගන්තුකයෙක් වූ මම ඔබ සමඟ ටික කලකට වාසය කරන්නෙක්මි. මාගේ භාර්යාවගේ මළසිරුර ගෙන ගොස් වැළලීම පිණිස මට ම උරුම වන ලෙස සොහොන් පොළක් මට දෙන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="5">හිත්තීවරු ඔහුට පිළිතුරු දෙමින්,</verse>
				<verse number="6">“ස්වාමීනි අපට සවන් දෙනු මැනවි. ඔබ අප අතර බලසම්පන්න අධිපතියෙකි. අපේ සොහොන් ගෙවලින් ඉතා අගනා එකක ඔබේ මියගිය බිරිඳ වළලනු මැනවි. අප අතරෙන් කිසිවෙක්, මළ අය වැළලීම සඳහා, තමන්ට හිමි සොහොන් පොළක් ඔබට නො දී නොසිටින්නේ ය”යි කී හ.</verse>
				<verse number="7">ආබ්‍රහම් ද නැඟිට, දේශවාසී හිත්තීවරුන් ඉදිරියෙහි හිස නමා ආචාර කොට,</verse>
				<verse number="8">ඔවුන් අමතා, “මා විසින් මගේ මියගිය බිරිඳ වැළලීම පිණිස ඔබ කැමැති නම්, මට සවන් දී, ශොහර් පුත් එප්‍රොන්ගේ ඉඩමෙහි කෙළවර තිබෙන,</verse>
				<verse number="9">ඔහු සතු මක්පේලාගේ ගුහාව මට දෙන ලෙස, මා වෙනුවෙන්, කරුණාකර, ඔහුගෙන් ඉල්ලනු මැනවි. එහි වටිනාකම අනුව සෑහෙන මිලකට සොහොන් බිම ඔබ ඉදිරියෙහි හිමි කර දෙන ලෙස කියන්නැ”යි පැවසී ය.</verse>
				<verse number="10">එප්‍රොන්, හිත්තීවරුන් මැද වාඩි වී සිටියේ ය. හිත්තීය ජාතික ඔහු හිත්තීවරුන්ට හා නුවර වාසල දොරටුව ළඟ සිටි සියල්ලන්ට ඇසෙන පරිදි, ආබ්‍රහම්ට කතා කොට,</verse>
				<verse number="11">“ස්වාමීනි, එසේ නො වේ වා! මට සවන් දෙන්න, ඉඩම ද එහි ඇති ගුහාව ද මම ඔබට දෙමි. මාගේ ජනයා ඉදිරිපිට මම එය ඔබට දෙමි. ඔබේ මියගිය බිරිඳ එහි වළලනු මැනවැ”යි කී ය.</verse>
				<verse number="12">ආබ්‍රහම් ද රටේ ජනයා ඉදිරිපිට නැමී ආචාර කොට,</verse>
				<verse number="13">ඔවුන්ට ඇසෙන පරිදි ඔහු එප්‍රොන්ට කතා කොට, “ඔබ මට එය දෙන්න කැමැති නම්, කරුණාකර, මට සවන් දෙන්න, ඉඩමේ වටිනාකමේ මුදල් මම දෙමි, එය බාරගන්න, මාගේ මියගිය බිරිඳ මම එහි වළලමි”යි කීවේ ය.</verse>
				<verse number="14">එවිට එප්‍රොන් ආබ්‍රහම්ට උත්තර දෙමින්,</verse>
				<verse number="15">“ස්වාමීනි, මට සවන් දෙන්න. බිම් කැබැල්ලේ වටිනාකම රිදී මිල හාරසියයක් පමණ ය. ඒක ඔබත් මාත් අතර ලොකු දෙයක් ද? ඔබේ මියගිය බිරිඳ එහි භූමදාන කරන්නැ”යි කී ය.</verse>
				<verse number="16">ආබ්‍රහම් ද ඔහුගේ කීමට එකඟ විය. තවද, ඔහු හිත්තීවරුන්ට ඇසෙන පරිදි එකලට වලංගු වෙළඳ මිල අනුව රිදී කාසි හාරසියයක් එප්‍රොන්ට කිරා දුන්නේ ය.</verse>
				<verse number="17">මෙසේ මම්රේ ඉදිරියෙහි වූ මක්පේලාවෙහි තිබුණු එප්‍රොන්ගේ ඉඩම හා එහි ගුහාව ද ඉඩමෙහි හා එය වට කළ මායිම්වල තිබූ ගස්කොළන් ද</verse>
				<verse number="18">හිත්තීවරුන් හා නුවර වාසල් දොරටුවෙන් ඇතුළු වූ සියලු දෙනා ඉදිරිපිට ආබ්‍රහම්ට සින්නක්කර කොට දෙන ලදී.</verse>
				<verse number="19">පසු ව ආබ්‍රහම්, කානාන් දේශයේ හෙබ්‍රොන් එනම්, මම්රේ ඉදිරියෙහි වූ මක්පේලාවෙහි ඉඩමේ තිබූ ගුහාවෙහි සිය බිරිඳ වන සාරා භූමදාන කෙළේ ය.</verse>
				<verse number="20">මෙලෙස ඉඩම ද එහි ගුහාව ද හිත්තීවරුන් විසින් ආබ්‍රහම්ට සොහොන් බිමක් ලෙස සින්නකර දෙන ලදී.</verse>
			</chapter>
			<chapter number="24">
				<verse number="1">ආබ්‍රහම් වයස්ගත මහල්ලෙක් විය; සමිඳාණන් වහන්සේ ද හැම අතින් ම ඔහුට ආශීර්වාද කොට තිබිණි.</verse>
				<verse number="2">ඔහු තමා සතු සියල්ල බලාහදාගත් නිවසේ දෙටු මෙහෙකරුවාට කතා කොට, “කරුණාකර, මාගේ කලවය යට නුඹ අත තබන්න;</verse>
				<verse number="3">මා පදිංචි වී සිටින කානාන් දේශයේ කාන්තාවන් අතුරින් භාර්යාවක මාගේ පුත්‍රයාට නුඹ තෝරා නොගන්නා ලෙසත්,</verse>
				<verse number="4">මාගේ රටට, මාගේ ඥාතීන් අතරට නුඹ ගොස්, මා පුත් ඊසාක්ට භාර්යාවක ගන්නා ලෙසත්, ස්වර්ගයේ දෙවියන් වහන්සේ ද, පොළොවේ දෙවියන් වහන්සේ ද වන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම නුඹ දිවුරවමි”යි කීවේ ය.</verse>
				<verse number="5">මෙහෙකරුවා එවිට ඔහුට කියනුයේ, “සමහරවිට ඒ කාන්තාව මා සමඟ මේ රටට ඒමට අකමැති වන්නට පුළුවන, එසේ වුවහොත් ඔබ නික්ම ආ රටට ම, මා ඔබේ පුත්‍රයා ගෙන යා යුතු දැ”යි ඇසී ය.</verse>
				<verse number="6">ආබ්‍රහම් උත්තර දෙමින්, “මාගේ පුතා නම් නැවත එහි නොගෙන යෑමට තරයේ සිතට ගන්න.</verse>
				<verse number="7">මාගේ පියාගේ ගෘහයෙන් ද මාගේ ඥාතීන්ගේ දේශයෙන් ද මා ගෙනා, මට දිවුරා වදාළ, ස්වර්ගයෙහි දෙවි සමිඳාණන් වහන්සේ, ‘මේ රට නුඹේ පෙළපතට දෙන්නෙමි. නුඹට පෙරටු ව උන් වහන්සේ සිය දූතයා යවන සේක. නුඹ ඒ රටින් මාගේ පුත්‍රයාට භාර්යාවක ගත යුතු ය’යි මට වදාළ සේක.</verse>
				<verse number="8">නුඹ කැටුව ඒමට ඒ කාන්තාව අකමැති වුවහොත් මා ඉදිරියෙහි දුන් දිවුරුමෙන් නුඹ නිදහස් ය. එහෙත්, නුඹ මා පුත්‍රයා නම්, එහි යළි නොගෙන යා යුතුය”යි කීවේ ය.</verse>
				<verse number="9">එවිට මෙහෙකරුවා තම ස්වාමියා වන ආබ්‍රහම්ගේ කලවය යට අත තබමින් මේ කරුණ ගැන දිවුරුම් දුන්නේ ය.</verse>
				<verse number="10">ඉන්පසු මෙහෙකරුවා, තම ස්වාමියාට අයත් ඔටුවන්ගෙන් දස දෙනෙකු ද, ඔහු සතු සම්පතින් ඉස්තරම් කොටසක් ද රැගෙන පිටත් ව ගොස්, මෙසොපොතේමියේ නාහෝර් නම් නගරයට පැමිණියේ ය.</verse>
				<verse number="11">ඔහු සවස් භාගයෙහි, කාන්තාවන් වතුර ඇදීමට එන වේලාවෙහි, නුවරින් පිටත ළිඳ ළඟ තමාගේ ඔටුවන් දණගැස්වී ය.</verse>
				<verse number="12">පසුව ඔහු කතා කොට, “මාගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවි සමිඳාණන් වහන්සේ, මට කරුණාකර, මෙදින මාගේ ගමන සාර්ථක කර මාගේ ස්වාමියාට කරුණාව දක්වන සේක්වා.</verse>
				<verse number="13">මෙන්න, මම ළිඳ ළඟ සිටිමි. මේ නගරයේ කාන්තාවන් දැන් එනු ඇත.</verse>
				<verse number="14">මම යම් තරුණියක අමතා, ‘කරුණාකර, මට වතුර ටිකක් බීමට ඔබේ කළය ඇල කරන්නැ’යි කියම් ද, එවිට ඒ තරුණිය, ‘බොන්න, මම ඔබේ ඔටුවන්ටත් වතුර දෙමි’යි කියන්නී ද, අන්න ඒ තරුණිය ඔබගේ දාසයා වන ඊසාක්ගේ බිරිඳ වීමට ඔබ නියම කළ තැනැත්තිය වේ වා! මෙලෙස ඔබ මාගේ ස්වාමියාට කරුණාව දැක්වූ බව මම දැනගන්නෙමි”යි කී ය.</verse>
				<verse number="15">ඔහු මෙසේ කියා නිම කරන්නටත් පෙර රෙබෙකා නම් තරුණිය තම උරහිස මත කළය තබාගෙන ආවා ය. ඈ ආබ්‍රහම්ගේ සොහොයුරු වන නාහෝර්ගේ බිරිඳ වූ, මිල්කාගේ පුත්‍රයා වන බෙතුයෙල්ගේ දුව ය.</verse>
				<verse number="16">ඒ තරුණිය රූමත් ය. ඈ කන්‍යාංගනාවකි; කිසි ම පුරුෂයෙකු සමඟ සම්බන්ධයක් නොවී ය. ඈ ළිඳට බැස කළය පුරවාගෙන, උඩට පැමිණියා ය.</verse>
				<verse number="17">ආබ්‍රහම්ගේ මෙහෙකරුවා ද ඈ වෙත දිව ගොස්, “කරුණාකර, ඔබේ කළයෙන් වතුර ටිකක් බොන්න මට ඉඩ හරින්නැ”යි කීවේ ය.</verse>
				<verse number="18">“භවතාණෙනි, බොන්නැ”යි කියමින්, ඈ ඉක්මනින් කළය අතට ගෙන, ඔහුට බොන්න දුන්නා ය.</verse>
				<verse number="19">මෙසේ ඈ ඔහුට බොන්න දුන් පසු, “ඔබේ ඔටුවන්ටත් උවමනා තරම් වතුර ඇද දෙමි”යි කියා,</verse>
				<verse number="20">හනික වතුර කළය ගව ඔරුවේ වත් කොට, ඔටුවන් සියල්ලන්ට ම වතුර ඇදීම පිණිස නැවත ළිඳට දිව ගියා ය.</verse>
				<verse number="21">මෙහෙකරුවා ද නිහඬ ව, ඈ දෙස බලාගත්ගමන්, ‘සමිඳාණන් වහන්සේ තමාගේ ගමන සාර්ථක කළ සේක් ද නැද්දැ’යි සිත සිතා සිටියේ ය.</verse>
				<verse number="22">ඔටුවන් වතුර බීවාට පසු ඔහු ඇගේ නාසයට වටිනා රන් මුද්දක් ද, ඇගේ අත්වලට වටිනා රන් වළලු දෙකක් ද දමා,</verse>
				<verse number="23">“ඔබ කාගේ දියණියන් දැ යි කරුණාකර මට කියන්න; අපට නවාතැන් ගැනීමට ඔබ පියාගේ ගෘහයෙහි ඉඩකඩ ඇත් දැ”යි ඇසී ය.</verse>
				<verse number="24">ඈ ද, “මම, නාහෝර් හා මිල්කාගේ පුත් බෙතුයෙල්ගේ දුව වෙමි.</verse>
				<verse number="25">අප ළඟ සෑහෙන තරම් පිදුරුත්, සිව්පාවුන්ට දෙන කෑමත්, නැවතීමට ඉඩකඩත් ඇතැ”යි තවදුරටත් කීවා ය.</verse>
				<verse number="26">ඔහු ද හිස නමා සමිඳාණන් වහන්සේට නමස්කාර කොට,</verse>
				<verse number="27">“මාගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! උන් වහන්සේ තම කරුණාවත්, යහපත්කමත් ඔහු වෙතින් ඉවත් නොකළ සේක. ඔහුගේ සහෝදරයාගේ ම ගෙදරට කෙළින් ම මා ගෙන ආ සේකැ”යි කී ය.</verse>
				<verse number="28">තරුණිය දිව ගොස් සිදු වූ සියල්ල තම මවගේ නිවාසයෙහි සිටි අයට කීවා ය.</verse>
				<verse number="29">රෙබෙකාට ලාබන් නම් සහෝදරයෙක් විය. මොහු ළිඳ ළඟ සිටි මිනිසා වෙත දිව ගියේය.</verse>
				<verse number="30">මොහු තම සොහොයුරිය වන රෙබෙකා පැළඳ සිටි නාසාභරණය ද, ඇගේ අත්වලට දැමූ වළලු ද දැක, “ඒ මිනිසා මට මෙසේ කතා කෙළේ ය”යි ඈ පැවසූ වචන ඇසූ විගස ම ආබ්‍රහම්ගේ මෙහෙකරුවා වෙත පැමිණියේ ය. මෙහෙකරුවා ද ළිඳ ළඟ ඔටුවන් සමඟ සිටියේ ය.</verse>
				<verse number="31">එවිට ලාබන් ඔහු අමතමින්, “සමිඳාණන් වහන්සේගෙන් ආසිරි ලත් භවතාණෙනි, පිටත සිටින්නේ මන් ද? ඇතුළට එන්න. මම නිවාසය ද ඔටුවන්ට ස්ථානයක් ද පිළියෙළ කෙළෙමි”යි කී ය.</verse>
				<verse number="32">මෙහෙකරුවා නිවසට ඇතුළු විය. එවිට ලාබන් ඔටුවන්ගේ සෑදල ලිහා උන්ට පිදුරු ද කෑම ද දුන්නේ ය. තවද, ඔහු ආබ්‍රහම්ගේ මෙහෙකරුවාට හා පිරිසට පාද සේදීමට වතුර ද දුනි.</verse>
				<verse number="33">පසුව ඔහු ඉදිරියෙහි කෑමට ආහාර තබන ලදී. එහෙත්, මෙහෙකරුවා කතා කොට, “ආහාර වළඳන්නට පළමුවෙන් මා ආ කාරිය කියන්න ඕනෑ ය”යි දැන්වී ය. ලාබන් ද, “එය කියන්නැ”යි පිළිතුරු දුනි.</verse>
				<verse number="34">එවිට ඔහු මෙසේ කී ය: “මම ආබ්‍රහම්ගේ මෙහෙකරුවෙක්මි.</verse>
				<verse number="35">සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියාට ඉමහත් ලෙස ආශීර්වාද කළ සේක. ඔහු දැන් ධනවෙතකි. උන් වහන්සේ ඔහුට එළු බැටළු පට්ටි ද ගව පට්ටි ද රන් රිදී ද දැසිදසුන් ද ඔටුවන් හා කොටළුවන් ද දී තිබේ.</verse>
				<verse number="36">තවද, මාගේ ස්වාමියාගේ බිරිඳ වන සාරා ඇගේ මහලු වයසේ මාගේ ස්වාමියාගෙන් පුතෙකු ලැබුවා ය. ආබ්‍රහම් තමන් සතු සියල්ල ඔහුට පවරා ඇත.</verse>
				<verse number="37">තවද, ඔහුගේ පුතු හට තමා වසන කානාන් දේශයේ කාන්තාවන් අතුරින් භාර්යාවක නො ගන්න ලෙසත්,</verse>
				<verse number="38">ඔහුගේ පියාගේ ගෙවැසියන් හා ඥාතීන් වෙත ගොස් තම පුතු හට බිරිඳක නොගතහොත් මට සාපයක් වන ලෙසත් ස්වාමියා ඉදිරියේ මාගෙන් දිවුරුම් ගත්තේ ය.</verse>
				<verse number="39">එවිට මම ඔහු අමතමින්, ‘ඒ කාන්තාව මා කැටුව ඒමට අකමැති විය හැකි’යි ආබ්‍රහම්ට කීවෙමි.</verse>
				<verse number="40">එවිට ඔහු මට කතා කොට, ‘මා සේවය කරන සමිඳාණන් වහන්සේ නුඹ කැටුව සිය දූතයා එවමින් නුඹේ ගමන සාර්ථක කරන සේක. නුඹ මාගේ පුතු හට මාගේ ඥාතීන් අතුරින් හා මාගේ පියාගේ ගෘහයෙන් බිරිඳක ගත යුතු ය.</verse>
				<verse number="41">නුඹ මාගේ ඥාතීන් වෙත පැමිණි විට මට දුන් දිවුරුමෙන් නුඹ නිදහස් ය, ඔව්හු නුඹට කාන්තාවක නොදෙන්නෝ නම් මට දුන් දිවුරුමෙන් නුඹ නිදහස් ය’යි කීවේ ය.</verse>
				<verse number="42">“මම ද අද ළිඳ ළඟට පැමිණ, මාගේ ස්වාමීන් වන ආබ්‍රහම්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබ මා යන ගමන සාර්ථක කරන සේක් නම්,</verse>
				<verse number="43">මෙන්න, මම ළිඳ ළඟ සිටිමි. දැන් කන්‍යාවක වතුර ඇදීමට පැමිණි විට මම ඈ අමතා, ‘කරුණාකර, මට වතුර ටිකක් බීමට ඔබේ කළය ඇල කරන්නැ’යි කියන්නෙමි.</verse>
				<verse number="44">‘ඔබත් බොන්න. ඔබේ ඔටුවන්ට ද මම වතුර අදින්නෙමි’ කියා යම් කන්‍යාවක් මට කියන්නී ද, අන්න, ඒ තැනැත්තී සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියාගේ පුත්‍රයා හට නියම කළ බිරිඳ වේවා යි මම සිතුවෙමි.</verse>
				<verse number="45">“මෙලෙස මා සිතූ විගස ම පුදුමයකි, රෙබෙකා කළය උරහිස මත තබාගෙන පැමිණියා ය; ඈ ළිඳට බැස ගොස් වතුර අදින විට, ‘කරුණාකර, මට වතුර ටිකක් බොන්න ඉඩ හරින්නැ’යි කීවෙමි.</verse>
				<verse number="46">ඈ ද කඩිනම් කොට කළය ඇලකර, ‘බොන්න, මම ඔබේ ඔටුවන්ටත් වතුර දෙමි’යි කීවා ය. මෙසේ මා බීවායින් පසු ඈ මගේ ඔටුවන්ට ද වතුර දුන්නා ය.</verse>
				<verse number="47">පසුව මම, ‘ඔබ කාගේ දියණියන් දැ’යි ඇසීමි. ඈ ද, ‘මම නාහෝර්ගෙන් මිල්කා ලැබූ පුත්‍රයා වන බෙතුයෙල්ගේ දුව වෙමි’යි කී විට, මම ඇගේ නාසයට මුදුව ද අත්වලට වළලු ද දැමීමි.</verse>
				<verse number="48">ඉන්පසු මම හිස නමා සමිඳාණන් වහන්සේට නමස්කාර කෙළෙමි. ඇරත්, මාගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ පුත්‍රයාට ඔහුගේ සොහොයුරුගේ දියණිය ලැබෙන පිණිස මා යන මඟ ගෙන ගිය, ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කෙළෙමි.</verse>
				<verse number="49">දැන් ඔබ මාගේ ස්වාමියාට කරුණාව හා හිතවත්කම දක්වන්න කැමැති නම් මට එසේ කියන්න; අකමැති නම් එය ද කියන්න; එවිට කුමක් කළ යුතුදැ යි මම තීරණය කරමි.”</verse>
				<verse number="50">එවිට ලාබන් සහ බෙතුයෙල් පිළිතුරු දෙමින්, “මෙය සමිඳාණන් වහන්සේගෙන් පැමිණි දෙයකි, කැමැත්ත හෝ අකමැත්ත හෝ දැක්වීම අපට නුපුළුවන.</verse>
				<verse number="51">මෙන්න, රෙබෙකා ඔබ ඉදිරියෙහි සිටියි. ඇය රැගෙන යන්න. සමිඳාණන් වහන්සේ වදාළ ලෙස ඈ ඔබ ස්වාමියාගේ පුත්‍රයාගේ භාර්යාව වේ වා”යි කී හ.</verse>
				<verse number="52">ඔවුන්ගේ මේ වචන ඇසූ විට ආබ්‍රහම්ගේ මෙහෙකරුවා පසඟ පිහිටුවා සමිඳාණන් වහන්සේට නමස්කාර කෙළේ ය.</verse>
				<verse number="53">තවද, ඔහු රන් රිදී ආභරණ ද වස්ත්‍ර ද ගෙන රෙබෙකාට ප්‍රදානය කෙළේ ය. ඇගේ සහෝදරයාට හා මවට ද වටිනා තෑගි බෝග දුන්නේ ය.</verse>
				<verse number="54">ආබ්‍රහම්ගේ මෙහෙකරුවා හා පිරිස කා බී මුළු රාත්‍රිය එහි ගත කළහ. උදෑසන ඔවුන් නැඟිටි පසු ඔහු කතා කොට, “මාගේ ස්වාමියා වෙත යෑමට මට අවසර දෙන්නැ”යි කී ය.</verse>
				<verse number="55">එවිට රෙබෙකාගේ සොහොයුරා සහ මව කතා කරමින්, “තරුණිය අප සමඟ තව ටික දිනක්, අඩු ගානේ දහ දිනක් වත් සිටියා වේ. පසු ව ඈට යත හැකිය”යි පිළිතුරු දුන්හ.</verse>
				<verse number="56">එහෙත්, මෙහෙකරුවා ඔවුන් අමතා, “මා පමා නොකරන්න. මාගේ ගමන සාර්ථක කෙළේ සමිඳාණන් වහන්සේ ය. මාගේ ස්වාමියා වෙත යෑමට මට ඉඩ හරින්නැ”යි කී ය.</verse>
				<verse number="57">එවිට ඔව්හු, “අපි තරුණිය කැඳවා ඇගෙන් විමසමු”යි පිළිතුරු දුන්හ.</verse>
				<verse number="58">ඔවුන් ද රෙබෙකා කැඳවා, “ඔබ මේ මිනිසා කැටුව යන්න කැමැති දැ”යි ඇසූ විට, “කැමැති ය”යි ඈ උත්තර දුන්නා ය.</verse>
				<verse number="59">ඉන්පසු ඔව්හු තම සොහොයුරිය වන රෙබෙකා ද ඇගේ කිරි මව ද ආබ්‍රහම්ගේ මෙහෙකරුවා හා ඔහුගේ පිරිස ද පිටත් කර යැවූ හ.</verse>
				<verse number="60">මෙසේ යන විට ඔව්හු රෙබෙකාට ආසිරි පතමින්, “අප සොහොයුරිය වන ඔබ, දහස් වර දසදහස් ගණනකගේ මෑණියෝ වෙත් වා! ඔබ පෙළපත සතුරන් පරදා වාසල් දොරටු පැහැරගනිත් වා”යි කී හ.</verse>
				<verse number="61">ඉන්පසු රෙබෙකා සහ ඇගේ සේවිකාවෝ නැඟිට, ඔටුවන් පිට නැඟී ආබ්‍රහම්ගේ මෙහෙකරු කැටුව ගියහ.</verse>
				<verse number="62">එකල නේගෙබ් ප්‍රදේශයෙහි පදිංචි ව සිටි ඊසාක්, ලහයි-රොයි නම් ස්ථානයේ ළිඳ අසල පාළුකරයට පැමිණ සිටියේ ය.</verse>
				<verse number="63">ඉර බැස යද්දී ඔහු කෙතෙහි ඇවිදිමින්, හිස ඔසවා බලන විට ඔටුවන් එනු දුටුවේ ය.</verse>
				<verse number="64">රෙබෙකා ද හිස ඔසවා බලන විට ඊසාක් දුටුවා ය. එවිට ඈ ඔටුවා පිටින් බැස</verse>
				<verse number="65">මෙහෙකරුවා අමතා, “අප හමුවීමට කෙතෙහි සිට ඇවිදගෙන එන මේ මිනිසා කවරෙක් දැ”යි විචාළා ය. ඔහු ද පිළිතුරු දෙමින්, “ඒ මාගේ ස්වාමියා ය”යි කී ය. එවිට ඈ සළුව ගෙන මුහුණ වසාගත්තා ය.</verse>
				<verse number="66">මෙහෙකරුවා තමා කළ සියල්ල ඊසාක්ට පැවසී ය.</verse>
				<verse number="67">ඊසාක් ද, රෙබෙකා තම මවගේ කූඩාරමට ගෙනැවිත්, ඇය සරණ පාවාගත්තේ ය. ඈ ඔහුගේ බිරිඳ වූවා ය. ඔහු ඇයට ප්‍රේම කෙළේ ය. මෙලෙස ඊසාක් තම මවගේ මරණින් පසු සැනසීමට පත් විය.</verse>
			</chapter>
			<chapter number="25">
				<verse number="1">ආබ්‍රහම් නැවත කෙතුරා නම් බිරිඳක සරණ පාවාගත්තේ ය.</verse>
				<verse number="2">ඈ ඔහුගෙන් සිම්රාම්, ජොක්ෂාන්, මෙදාන්, මිදියාන්, ඉෂ්බාක් සහ ෂුවා ලැබුවා ය.</verse>
				<verse number="3">ජොක්ෂාන්ට දාව ෂෙබා සහ දෙදාන් ඉපදුණෝ ය. දෙදාන්ගේ පුත්‍රයෝ නම් අෂුරිම්, ලෙටුෂිම් සහ ලෙයුම්මි ය.</verse>
				<verse number="4">මිදියාන්ගේ පුත්‍රයෝ නම්, ඒපා, ඒපෙර්, හෙනාක්, අබිදා සහ එල්දායා ද ය. මේ සියල්ලෝ කෙතුරාගේ දරුවෝ ය.</verse>
				<verse number="5">ආබ්‍රහම් තමන් සතු සියල්ල ඊසාක්ට පවරා දුන්නේ ය.</verse>
				<verse number="6">එහෙත්, තම උපභාර්යාවන්ගේ පුතුන්ට තෑගි දී, තමන් ජීවත් ව සිටිය දී ම, ඊසාක්ගෙන් ඒ පුත්‍රයන් ඈත් කොට, ඔවුන් නැගෙනහිරින් පිහිටි පෙරදිග රටට යැව්වේ ය.</verse>
				<verse number="7">ආබ්‍රහම් ජීවත් වූ මුළු කාලය අවුරුදු එකසිය හැත්තෑපහක් විය.</verse>
				<verse number="8">මෙසේ ඔහු දිගායු වළඳා පූර්ණ මහලු වයසේ දී අවසන් හුස්ම හෙළා මරණයට පත් වූ පසු පවුලේ සුසාන භූමියේ තැන්පත් කරන ලදී.</verse>
				<verse number="9">එවිට ඊසාක් සහ ඉෂ්මායෙල් වන ඔහුගේ පුත්‍රයෝ මම්රේ ඉදිරියෙහි වූ හිත්තීය ජාතික ශොහර්ගේ පුත් එප්‍රොන්ගේ ඉඩමෙහි පිහිටි මක්පේලාගේ ගුහාවෙහි ඔහු භූමදානය කළහ.</verse>
				<verse number="10">යථෝක්ත ඉඩම ආබ්‍රහම්, හිත්තීවරුන්ගෙන් මිලට ගත් එකකි. එහි ආබ්‍රහම් ද ඔහුගේ බිරිඳ වන සාරා ද භූමදාන කරනු ලැබූ හ.</verse>
				<verse number="11">ආබ්‍රහම්ගේ මරණින් පසු දෙවියන් වහන්සේ ඔහුගේ පුත් ඊසාක්ට ආශීර්වාද කළ සේක. ඊසාක් ද ලහයි-රොයිහි ළිඳ අසල පදිංචි විය.</verse>
				<verse number="12">පහත දක්වනුයේ ආබ්‍රහම්ගේ පුත් ඉෂ්මායෙල්ගේ පෙළපත ය; සාරාගේ සේවිකාව වන මිසර ජාතික හාගර්, ආබ්‍රහම්ට දාව ඉෂ්මායෙල් ලැබුවා ය.</verse>
				<verse number="13">පෙළපත් අනුව ඉෂ්මායෙල්ගේ පුත්‍රයන්ගේ නාමාවලිය මෙසේ ය: ඉෂ්මායෙල්ගේ කුලුඳුලා නෙබායොත් ය; ඉන්පසු කේදාර්, අද්බෙයෙල්, මිබිසාම්,</verse>
				<verse number="14">මිෂ්මා, දුමා, මස්සා,</verse>
				<verse number="15">හදද්, තේමා, ජෙතුර්, නාපීෂ් සහ කේදෙමා යන මොවුහු ය.</verse>
				<verse number="16">මේ දැක්වූයේ ජනපද හා කඳවුරු අනුව ඉෂ්මායෙල්ගේ පුත්‍රයන්ගේ නාමාවලිය වේ. මොවුහු ගෝත්‍ර දොළසක ගෝත්‍රපතීහු දොළසකි.</verse>
				<verse number="17">ඉෂ්මායෙල් අවුරුදු එකසිය තිස්හතක් ආයු වළඳා, අවසන් හුස්ම හෙළා මියගිය පසු පවුලේ සුසාන භූමියේ තැන්පත් කරන ලදී.</verse>
				<verse number="18">ඔහුගෙන් පැවතෙන්නෝ හවිලාහි සිට අසිරියාවට යන මගෙහි මිසර දේශයට පෙරදිගින් පිහිටි ෂූර් දක්වා වාසය කළහ. ඔව්හු තම ඥාතීන්ගෙන් ඈත් ව ජීවත් වූ හ.</verse>
				<verse number="19">පහත දක්වනුයේ ආබ්‍රහම්ගේ පුත් ඊසාක්ගේ පෙළපත ය. ආබ්‍රහම්ට දාව ඊසාක් ඉපදිණි.</verse>
				<verse number="20">මොහු පදන්-අරාම්හි අරමීය ජාතික බෙතුයෙල්ගේ දුව හා අරමීය ජාතික ලාබන්ගේ සොහොයුරිය ද වන රෙබෙකා සිය බිරිඳ මෙන් සරණපාවාගන්න කල්හි ඔහුගේ වයස අවුරුදු සතළිසකි.</verse>
				<verse number="21">ඈ වඳ ස්ත්‍රියක වූයෙන්, ඔහු තම බිරිඳ උදෙසා බැගෑපත් ලෙස සමිඳාණන් වහන්සේ අයැදී ය. උන් වහන්සේ ඔහුගේ ඉල්ලීමට සවන් දුන් සේක. රෙබෙකා ගැබ්ගත්තා ය.</verse>
				<verse number="22">ඇගේ කුසෙහි හුන් දරුවන් දඟලන්න ගත් විට, “තත්ත්වය මෙහෙම නම් මා ඉඳලා කුමකට දැ”යි කියමින්, ඕ සමිඳාණන් වහන්සේගෙන් විමසීමට ගියා ය.</verse>
				<verse number="23">සමිඳාණන් වහන්සේ ඈට කතා කොට මෙසේ වදාළ සේක: “ජාතීන් දෙකක් ඔබ කුස තුළ ඇත; දෙවර්ගයක සෙනඟක් ඔබ කුසෙන් බෙදී නික්මෙති. එක සෙනඟක් අනිකට වඩා බලවත් වෙති; වැඩිමලා බාලයාට මෙහෙ කරනු ඇත.”</verse>
				<verse number="24">ඇගේ ප්‍රසූත කාලය සම්පූර්ණ වූ විට, මෙන්න, ඇගේ කුසෙහි නිඹුල් දරුවෝ සිටියහ.</verse>
				<verse number="25">පළමුවැන්නා උපන්නේ ය. ඔහු රතු පාට ය, ඔහුගේ ඇඟ පුරා ම ලෝම වැස්මක් මෙන් විය. එබැවින් ඔහුට ඒසව් යන නම දෙන ලදී.</verse>
				<verse number="26">ඉන්පසු උපන්නේ ඔහුගේ සහෝදරයා ය. ඔහු තම අතින් ඒසව්ගේ විලුඹ අල්ලාගෙන සිටියේ ය. එබැවින් ඔහුට ජාකොබ් යන නම දෙන ලදී. රෙබෙකාට මොවුන් ලැබෙන විට ඊසාක්ගේ වයස අවුරුදු හැටකි.</verse>
				<verse number="27">දරුවෝ දෙදෙන වැඩුණාහ. ඒසව් එළිමහනේ වසන දක්ෂ දඩයම්කාරයෙක් විය. ජාකොබ් කූඩාරම්වල වසන නිශ්චල මිනිසෙක් විය.</verse>
				<verse number="28">ඊසාක්, ඒසව් ගෙනා මුව මස් කෑ හෙයින් ඔහුට වඩා කැමැති විය; එහෙත් රෙබෙකා වඩා කැමැති වූයේ ජාකොබ්ට ය.</verse>
				<verse number="29">දිනක් ජාකොබ් ව්‍යංජනයක් පිළියෙළ කෙළේ ය. එවිට ඒසව් බොහෝ විඩාවට පත් ව, කෙතෙහි සිට පැමිණියේ ය.</verse>
				<verse number="30">ඔහු ජාකොබ්ට කතා කොට, “කරුණාකර, ඔය රතු පාට ව්‍යංජනයෙන් කෑමට මට දෙන්න; බලන්න, මට හරි මහන්සි ය”යි කී ය. මේ කරුණ නිසා ඔහුට ඒදොම් යන නම දෙන ලදී.</verse>
				<verse number="31">එවිට ජාකොබ් ද, “එසේ නම් කුලුඳුල්කමේ උරුමය අද දින මට විකුණන්නැ”යි කී ය.</verse>
				<verse number="32">එවිට ඒසව් පිළිතුරු දෙමින්, “මම දැන් මරණාසන්න ව සිටිමි. කුලුඳුල්කමේ උරුමයෙන් මට කුමන වැඩක් දැ”යි පැවසී ය.</verse>
				<verse number="33">ජාකොබ්, “එසේ නම් අද මා ඉදිරියෙහි දිවුරන්නැ”යි කීවෙන්, ඒසව් ඔහු ඉදිරියෙහි දිවුරුවේ ය. මෙලෙස ඒසව් කුලුඳුල්කමේ උරුමය ජාකොබ්ට විකිණී ය.</verse>
				<verse number="34">ඉන්පසු ජාකොබ් රොටි සහ එලවළු ව්‍යංජනය ඒසව්ට දුනි. ඔහු කා බී, නැඟිට යන්න ගියේය. මෙසේ ඒසව් සිය කුලුඳුල්කමට හිමි උරුමය සුළු කොට සැලකී ය.</verse>
			</chapter>
			<chapter number="26">
				<verse number="1">එකල රටෙහි සාගතයක් විය. මෙය ආබ්‍රහම්ගේ කාලයෙහි වූ පළමු සාගතයට පසු පැමිණි එකකි. ඊසාක්, එවිට ගෙරාර්හි පිලිස්තිවරුන්ගේ රජු වූ අබිමෙලෙක් වෙත ගියේය.</verse>
				<verse number="2">සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී මෙසේ වදාළ සේක: “මිසර දේශයට නොගොස්, ඔබට මා කියන දේශයෙහි පදිංචි වන්න.</verse>
				<verse number="3">
					මඳ කලක් මෙරට වසන්න.
					මම ඔබ සමඟ සිටිමි, ඔබට ආසිරි දෙමි; ඔබට ද ඔබ පරපුරට ද මේ මුළු දේශය මම දෙමි. මෙලෙස ඔබ පිය ආබ්‍රහම් හට මා දිවුළ දිවුරුම ඉටු කරමි.
				</verse>
				<verse number="4">අහසේ තරු මෙන්, ඔබ පෙළපත මම වැඩි කරමි. මේ මුළු රට ඔබේ පෙළපතට මම දෙමි. මිහි පිට සියලු ජාතීහු, ඔබ මඟින්, තමන්ට ආශීර්වාද කරගන්නාහ.</verse>
				<verse number="5">එසේ වනුයේ, ආබ්‍රහම් මා හට කීකරු ව, මාගේ අණපණත් ද මාගේ නීති ව්‍යවස්ථා ද පිළිපැදි හෙයිනි.”</verse>
				<verse number="6">ඊසාක් ගෙරාර්හි පදිංචි විය.</verse>
				<verse number="7">එහි සිටි මිනිස්සු ඔහුගේ භාර්යාව ගැන ඔහුගෙන් විමසුවෝ ය. ඔහු ද, “ඈ මාගේ සහෝදරීය”යි කී ය. “ඈ මගේ භාර්යාව ය”යි කීමට ඔහු බිය වූයේ, රෙබෙකා රූමත් බැවින් ඈ නිසා ‘ඔවුන් මා මරති’යි සිතූ නිසා ය.</verse>
				<verse number="8">ඔහු එහි කාලයක් විසූ පසු, පිලිස්තිවරුන්ගේ රජු වූ අබිමෙලෙක් කවුළුවකින් පිටත බැලූ විට, පුදුමයකි, ඊසාක් තම බිරිඳ වන රෙබෙකාට පෙම් කරනු දිටී ය.</verse>
				<verse number="9">අබිමෙලෙක් ඊසාක් කැඳවා, “නිසැක ව ම ඈ ඔබේ භාර්යාව ය; එසේ නම්, ‘ඈ මාගේ සහෝදරී ය’යි ඔබ කීවේ කෙසේ දැ”යි ඇසී ය. ඊසාක් ඔහුට කතා කොට, “ඈ නිසා මට මැරෙන්න වේ යයි සිතා මම එසේ කීවෙමි”යි පිළිතුරු දුනි.</verse>
				<verse number="10">එවිට අබිමෙලෙක්, “ඔබ අපට කළ මේ දේ කුමක් ද? සෙනඟගෙන් කෙනෙක් ලෙහෙසියෙන් ම ඈ සමඟ සේවනයෙහි යෙදෙන්නට තිබිණි. එසේ වී නම්, ඔබ නිසා අප පිට වරද පැමිණෙන්නට තිබුණේ ය”යි කීවේ ය.</verse>
				<verse number="11">තවද රජ තෙම, “යමෙක් මේ මිනිසාට හෝ ඔහුගේ භාර්යාවට හෝ අත තැබුවහොත් ඇත්තෙන් ම ඔහු මරනු ලැබේ ය” කියා නියෝගයක් සිය සෙනඟට පැණ වී ය.</verse>
				<verse number="12">ඉන්පසු ඊසාක් එම රටෙහි ධාන්‍ය වපුරා එම අවුරුද්දෙහි ම සිය ගුණයක් සරු අස්වැන්නක් නෙළාගත්තේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට ආශීර්වාද කළ සේක.</verse>
				<verse number="13">ඔහු ද ධනවෙතකු මෙන් සමෘද්ධ වී, මහා බලවෙතකු බවට පත් විය.</verse>
				<verse number="14">මන්ද, ඔහු සතු එළු බැටළු හා ගව පට්ටි වූ හ. දැසිදස්හු ද විශාල පිරිසක් වූ හ. එහෙත් පිලිස්තිවරු ඔහුට ඊර්ෂ්‍යා කළහ.</verse>
				<verse number="15">එබැවින්, තම පියා වන ආබ්‍රහම්ගේ කාලයේ දී ඔහුගේ මෙහෙකරුවන් කැණූ ළිං සියල්ල ම පිලිස්තිවරු පස් පුරවා වසාදැමූ හ.</verse>
				<verse number="16">අබිමෙලෙක් ඊසාක් අමතා, “ඔබ අපට වඩා බොහෝ බලසම්පන්න බැවින්, අප කෙරෙන් ඉවත් ව යන්නැ”යි කී ය.</verse>
				<verse number="17">ඊසාක් ද එතැනින් නික්ම, ගෙරාර්හි මිටියාවතෙහි තම කඳවුර පිහිටුවා, එහි පදිංචි විය.</verse>
				<verse number="18">ආබ්‍රහම්ගේ මරණින් පසු, පිලිස්තිවරුන් ළිං සියල්ල වසාදමා තැබු හෙයින්, ඔහුගේ පියාගේ කාලයෙහි කණින ලද වතුර ළිං ඊසාක් නැවත කැණී ය. තවද, තම පියා දුන් නම්වලින් ම ඔහු ඒ ළිං හැඳින් වී ය.</verse>
				<verse number="19">ඊසාක්ගේ මෙහෙකරුවන් මිටියාවතේ ළිං කණින විට ඔවුන්ට එහි දිය උල්පත් සහිත ළිඳක් සම්බ විය.</verse>
				<verse number="20">එහෙත් ගෙරාර්හි ගොපල්ලෝ, “මේ වතුර අපගේ ය” කියමින් ඊසාක්ගේ ගොපලුන් සමඟ කලහ කළහ. ඔවුන් ඔහු සමඟ මෙලෙස කලහ කළ බැවින් ඒ ළිඳට ‘ඒසෙක්’ යන නම ඔහු දුනි.</verse>
				<verse number="21">ඔවුන් තවත් ළිඳක් කැණූ විට ගෙරාර්හි ගොපල්ලෝ ඒ ගැන ද කලහ කළහ. එබැවින් ඊට ‘සිත්නා’යි නම දුනි.</verse>
				<verse number="22">ඊසාක් ඉන්පසු එතැනින් නික්ම ගොස්, තවත් ළිඳක් කැණී ය. එහෙත් ඒ ගැන ඔවුන් කලහ නොකළ බැවින් එය ‘රෙහොබොත්’ යන නමින් හැඳින්විය. ළිඳ මෙසේ හඳුන්වා, “දැන් ඉතින් සමිඳාණන් වහන්සේ අපට මේ රටෙහි ඉඩ කඩ දුන් සේක. අපි මේ රටෙහි සමෘද්ධ වන්නෙමු”යි කී ය.</verse>
				<verse number="23">පසුව ඔහු එතැනින් පිටත් ව, බෙයර්-ෂෙබාවට ගියේය.</verse>
				<verse number="24">එම රාත්‍රියහි ම සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී මෙසේ වදාළ සේක; “නුඹ පිය ආබ්‍රහම්ගේ දෙවිඳාණෝ මම ය. බිය නොවන්න. නුඹ සමඟ ද මම සිටිමි; නුඹට ආසිරි දෙමි. මාගේ දාසයා වන ආබ්‍රහම් නිසා, නුඹේ පෙළපත මම වැඩි වර්ධනය කරමි.”</verse>
				<verse number="25">ඊසාක් ද එහි පූජාසනයක් ඉදි කොට, සමිඳාණන් වහන්සේගේ නාමය කියා යච්ඤා කෙළේ ය. තවද, එහි ඔහු තම කඳවුර පිහිටුවිය. එම ස්ථානයෙහි ද ඊසාක්ගේ මෙහෙකරුවෝ ළිඳක් කැණූ හ.</verse>
				<verse number="26">එකල ගෙරාර්හි සිට අබිමෙලෙක් ද, ඔහුගේ මිතුරෙකු වන අහුස්සත් ද, තම හමුදාවේ සේනාධිපති වන පීකොල් ද ඊසාක් වෙත ගියහ.</verse>
				<verse number="27">එවිට ඊසාක් ඔවුන් අමතා, “මට වෛර කර, ඔබ වෙතින් මා පලවා හැරිය ඔබ හැම දැන් මා වෙත එන්නේ මන්දැ”යි ඇසී ය.</verse>
				<verse number="28">ඔව්හු ද, “සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වන බව අපට ඒකාන්තයෙන් ම පැහැදිලි ය. එබැවින්, ‘දැන් ඉතින් ඔබ හා අප අතර දිවුරුමක් තිබිය යුතු ය. ඔබ සමඟ අපි, ගිවිසුමක් කරගනිමු’යි කියා අපි කතා කරගත්තෙමු.</verse>
				<verse number="29">ඒ අනුව අප ඔබට අත වත් නොතබා, යහපත ම පමණක් කර, සාමදානයෙන් ඔබ පිටත් කර හැරිය ලෙස ඔබත් අපට හිරිහැර නොකළ යුතු ය. ඔබ ඒකාන්තයෙන් ම සමිඳාණන් වහන්සේගේ ආශීර්වාද ලත් තැනැත්තා ය”යි කී හ.</verse>
				<verse number="30">ඊසාක් ඔවුන්ට මංගල භෝජනයක් පිළියෙළ කළ පසු, ඔව්හු කා බී,</verse>
				<verse number="31">පසු දින උදය වේලාසනින් නැඟිට තම තමන් අතර දිවුරුම් දුන්හ. ඊසාක් ඔවුන් පිටත් කර හැරිය විට, ඔව්හු සාමදානයෙන් ඔහු වෙතින් නික්ම ගියහ.</verse>
				<verse number="32">ඒ දවසේ ම ඊසාක්ගේ මෙහෙකරුවෝ විත් ඔවුන් කැණූ ළිඳක් ගැන කතා කරමින්, “අපට වතුර සම්බ විය”යි ඔහුට කී හ.</verse>
				<verse number="33">ඔහු එය ෂිබා යන නමින් හැඳින් වී ය. එබැවින් අද දක්වා ම ඒ නගරයේ නම බෙයර්-ෂෙබා වේ.</verse>
				<verse number="34">තවද, ඒසව්ට වයස අවුරුදු සතළිසක් වූ කල ඔහු හිත්තීය ජාතික බෙයේරිගේ දුව වන ජුඩිත් ද, හිත්තීය ජාතික එලොන්ගේ දුව වන බෙසමත් ද යන කාන්තාවන් සරණ පාවාගත්තේ ය.</verse>
				<verse number="35">මොවුහු ඊසාක්ගේ හා රෙබෙකාගේ සිත් වේදනාවට හේතු වූ හ.</verse>
			</chapter>
			<chapter number="27">
				<verse number="1">ඊසාක් මහලු වයසට පැමිණ, ඔහුගේ ඇස් ද නොපෙනෙන තරමට අඳුරු වී තිබිණි. ඔහු තම දෙටු පුත් ඒසව් කැඳවා, “පුතා” කියා ඇමතී ය. ඔහු ද, “ඇයි තාත්තේ” කියා උත්තර දුනි.</verse>
				<verse number="2">එවිට ඔහු කතා කොට, “බලන්න, දැන් මම මහලු ය. කවදා මා මැරේ දැ යි නො දනිමි.</verse>
				<verse number="3">එබැවින් කරුණාකර නුඹ දැන් නුඹේ දඩයම් උපකරණ වන හී කොපුව සහ දුන්න රැගෙන වනයට ගොස්, මට මුව මස් රැගෙන,</verse>
				<verse number="4">මා ප්‍රිය කරන ප්‍රණීත ආහාරයක් පිළියෙළ කර එය ගෙනැවිත්, මට කන්න දෙන්න. එවිට මම මැරෙන්නට පෙර නුඹට ආශීර්වාද කරන්නෙමි”යි කී ය.</verse>
				<verse number="5">ඊසාක් සිය පුත් ඒසව්ට මෙය කියනු රෙබෙකා අසාගෙන සිටියා ය. ඒසව් ද දඩයම් කර මුව මස් ගෙනෙනු පිණිස වනයට පිටත් විය.</verse>
				<verse number="6">එවිට රෙබෙකා, තම පුත් ජාකොබ් අමතා, “මෙය අහගන්න, නුඹේ පියා නුඹ සොහොයුරු ඒසව්ට කතා කොට,</verse>
				<verse number="7">‘මට මුව මස් ගෙනැවිත් ප්‍රණීත ආහාරයක් පිස දෙන්න; මම ද එය අනුභව කොට මා මැරෙන්නට පෙර සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මම නුඹට ආශීර්වාද කරන්නෙමි’යි කියනු මම අසාගෙන සිටියෙමි.</verse>
				<verse number="8">එබැවින් මාගේ පුත්‍රය, දැන් මා කියන දේ කරන්න.</verse>
				<verse number="9">එළු රැළට ගොස්, හොඳ එළු පැටවුන් දෙන්නෙකු මට ගෙනැවිත් දෙන්න; එවිට මම නුඹේ පියා ප්‍රිය කරන ප්‍රණීත ආහාරයක් එයින් පිළියෙළ කරමි.</verse>
				<verse number="10">නුඹ ද එය නුඹේ පියා වෙත රැගෙන යන්න. එවිට ඔහු එය අනුභව කොට මැරෙන්නට පෙර, නුඹට ආශීර්වාද කරනු ඇතැ”යි කීවා ය.</verse>
				<verse number="11">එහෙත්, ජාකොබ් තම මව වන රෙබෙකාට කතා කොට, “මාගේ සහෝදර ඒසව් ඇඟ පුරා මයිල් ඇති මිනිසෙකි. එහෙත්, මම සිනිඳු හමක් ඇති කෙනෙක්මි.</verse>
				<verse number="12">අහම්බෙන් වත් මාගේ පියා මා අතගා බැලුවහොත්, මා කපටියෙකු මෙන් ඔහුට පෙනෙන්න පුළුවන. එසේ වුණොත් ආශීර්වාදයක් නොව මට ම සාපයක් කරගනු ඇතැ”යි කීවේ ය.</verse>
				<verse number="13">එවිට මව ඔහු අමතා, “පුතා, ඒ සාපය මා පිට වැටේ වා! මට කීකරු ව, මා කී දේ සොයාගෙන එන්නැ”යි කීවා ය.</verse>
				<verse number="14">ඔහු ද ගොස්, එළු පැටියන් දෙන්නෙකු රැගෙන මව වෙත ගෙනාවේ ය. මව ඔහුගේ පියා ප්‍රිය කරන ප්‍රණීත ආහාරයක් එයින් පිසුවා ය.</verse>
				<verse number="15">පසුව ඈ, ගෙදර තිබුණු දෙටු පුත් ඒසව්ගේ අගනා වස්ත්‍ර රැගෙන, තම බාල පුත් ජාකොබ්ට හඳවා,</verse>
				<verse number="16">ඔහුගේ අත් දෙක හා බෙල්ලේ සිනිඳු හරිය එළු හම්වලින් වසා,</verse>
				<verse number="17">ඈ පිසූ ප්‍රණීත ආහාරය ද රොටි ද ඔහු අත තැබුවා ය.</verse>
				<verse number="18">ඔහු ද පියා වෙත පැමිණ, “තාත්තේ” කියා ඇමතී ය. පියා ද, “ඇයි පුතා, උඹ කවරෙක් දැ”යි ඇසී ය.</verse>
				<verse number="19">එවිට සිය පියාට ජාකොබ් උත්තර දෙමින්, “මම ඔබේ කුලුඳුල් පුත් ඒසව් ය. ඔබ කී පරිදි මම ඉටු කෙළෙමි. කරුණාකර, නැඟිට, වාඩි වී, මාගේ මුව මස් අනුභව කරන්න. එවිට මට ආශීර්වාද කරන්න ඔබට පුළුවනැ”යි කී ය.</verse>
				<verse number="20">ඊසාක් තම පුතුට කතා කරමින්, “පුතා, උඹ මේවා මෙතරම් ඉක්මනින් සොයාගත්තේ කෙසේ දැ”යි ඇසී ය. “ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ මේවා මට ඉක්මනින් ලැබෙන්නට සැලැසූ සේකැ”යි ඔහු උත්තර දුනි.</verse>
				<verse number="21">එවිට ඊසාක් ජාකොබ් අමතමින්, “පුතා, උඹ මේ මාගේ පුත්‍ර ඒසව් ද නැද්දැ යි අතගා බලන්න, කරුණාකර මට කිට්ටු වෙන්නැ”යි කී ය.</verse>
				<verse number="22">ජාකොබ් ද පියා සමීපයට කිට්ටු වූ විට පියා ඔහු අතගා බලමින්, “කටහඬ නම් ජාකොබ්ගේ වගෙයි; අත් දෙක නම් ඒසව්ගේ හැඩය”යි කී ය.</verse>
				<verse number="23">සිය සොහොයුරුගේ අත් දෙක මෙන් ඔහුගේ අත් ලොම්වලින් වැසී තිබුණ බැවින්, ඔහු තම පුතා හැඳින නොගත්තේ ය. එබැවින් ඔහු ආශීර්වාද කරන්නට අරඹමින්,</verse>
				<verse number="24">“නුඹ මාගේ පුත් ඒසව් ම දැ”යි ඇසී ය. “එසේ ය”යි ඔහු ද උත්තර දුනි.</verse>
				<verse number="25">“එසේ නම් නුඹ පිළියෙළ කළ මුව මස් අනුභව කොට මා නුඹට ආශීර්වාද කරනු පිණිස එය මා ළඟට ගෙනෙන්නැ”යි ඊසාක් කී ය. ඔහු එය පියා ළඟට ගෙනා විට පියා එය අනුභව කෙළේ ය. තවද ජාකොබ් මිදියුස ද ගෙනා විට, පියා එය ද පානය කෙළේ ය.</verse>
				<verse number="26">ඉන්පසු ඔහුගේ පියා වන ඊසාක්, ඔහු අමතමින්, “පුතා, දැන් මා ළඟට කිට්ටු වී මා සිඹින්නැ”යි ඉල්ලී ය.</verse>
				<verse number="27">ඔහු ද ළඟට කිට්ටු වී පියා සිඹගත්තේ ය. එවිට පියාට තම පුත්‍රයාගේ වස්ත්‍රවල සුවඳ දැනී, ඔහුට මෙසේ ආශීර්වාද කෙළේ ය: “බලන්න, මා පුතු සුවඳ, සමිඳුන් ආසිරි දුන් කෙතක සුවඳ මෙනි.</verse>
				<verse number="28">අහසින් පිනි ද පොළොවේ සරු බව ද බොහෝ ධාන්‍ය හා මිදියුස ද දෙවිඳාණෝ නුඹ හට දෙන සේක් වා!</verse>
				<verse number="29">
					ජනයෝ නුඹට මෙහෙකරත් වා!
					ජාතීහු නුඹට හිස නමත් වා! සොහොයුරන්ගේ අධිපති නුඹ වේ වා! නුඹේ මවගේ පුත්තු නුඹට හිස නමත් වා! නුඹට සාප කරන්නාට සාප වේ වා! නුඹට ආසිරි දෙන්නාට ආසිරි ලැබේ වා!”
				</verse>
				<verse number="30">ඊසාක් ජාකොබ්ට ආශීර්වාද දී නිමවා, ඔහු තම පියා වෙතින් යද්දී ම ඔහු සොහොයුරු වන ඒසව් දඩයමෙන් හැරී ඇවිත් ගෙට ඇතුළු විය.</verse>
				<verse number="31">ඔහු රස මුසු ආහාරයක් පිළියෙළ කොට, පියා වෙත ගෙනැවිත්, ඔහුට කතා කරමින්, “තාත්තේ, නැඟිට, මට ආශීර්වාද කරනු පිණිස ඔබ පුතු ගෙනා මුව මස් අනුභව කරන්නැ”යි ඉල්ලී ය.</verse>
				<verse number="32">එවිට තම පියා වූ ඊසාක් ඔහුට කතා කරමින්, “නුඹ කවරෙක් දැ”යි ඇසූ විට, “මම ඔබේ කුලුඳුල් පුත් ඒසව් යැ”යි ඔහු උත්තර දුනි.</verse>
				<verse number="33">ඊසාක් ද තදින් තැති ගෙන, ගැහි ගැහී, “එසේ නම් දඩයම් කර මුව මස් මා වෙත ගෙනාවේ කවරෙක් ද? නුඹ එන්න පෙර මම ඒ සියල්ලෙන් අනුභව කොට ඔහුට ආශීර්වාද කෙළෙමි. සැබැවින් ම ඒ ආශීර්වාදය ඔහු සමඟ පවතින්නේ යැ”යි කී ය.</verse>
				<verse number="34">පියාගේ මේ වචන ඇසූ විට ඒසව් ඉතා දැඩි සිත් වේදනාවෙන් කෑගසා, හඬා වැලපී, පියාට කතා කොට, “අනේ මගේ තාත්තේ, මට ආශීර්වාද කරන්න, මටත් ආශීර්වාද කරන්නැ”යි කියා ඉල්ලී ය.</verse>
				<verse number="35">පියා ද උත්තර දෙමින්, “කූට උපායකින් නුඹේ සහෝදරයා පැමිණ නුඹේ ආශීර්වාදය උදුරාගත්තේ ය”යි කී ය.</verse>
				<verse number="36">එවිට ඒසව්, “ඔහු දෙවරක් ම මට ලැබිය යුතු දේ උදුරාගත්තේ ඔහුගේ නම ජාකොබ් නිසා වෙන්න ඇත. ඔහු කලින් මාගේ කුලුඳුල්කමේ උරුමය ගත්තේ ය. මෙන්න, දැන් මාගේ ආශීර්වාදයත් උදුරාගත්තේ ය. ඔබ මටත් ආශීර්වාදයක් ඉතිරි කර නැද්දැ”යි ඇසී ය.</verse>
				<verse number="37">ඊසාක් ද පිළිතුරු දෙමින් ඔහුට කියනුයේ, “බලන්න, මම ජාකොබ් නුඹේ අධිපතියා කෙළෙමි, ඔහුගේ සියලු සහෝදරයන් සේවකයන් කොට මම ඔහුට දුනිමි. ධාන්‍යයෙන් හා මිදියුසින් මම ඔහු සමෘද්ධ කෙළෙමි. මා පුත්‍රය, දැන් මා නුඹට කුමක් කරන්න දැ”යි ඇසී ය.</verse>
				<verse number="38">ඒසව් ද ඔහුට පිළිතුරු දෙමින්, “තාත්තේ, ඔබට ඇත්තේ එක ම ආශීර්වාදයක් පමණක් ද? අනේ තාත්තේ, මටත්, මේ මටත්, ආශීර්වාද කරන්නැ”යි ඉල්ලා, මහ හඬින් කෑගසා හැඬී ය.</verse>
				<verse number="39">එවිට ඔහුගේ පියා වන ඊසාක් උත්තර දෙමින් මෙසේ කීවේ ය: “මේ බලන්න, පොළොවේ පලදාව ද, අහසේ පිනි ද නුඹේ ගෙවතුවලින් තොර වේ.</verse>
				<verse number="40">
					කඩුවෙන් නුඹ ජීවත් වන්නෙහි ය.
					සොහොයුරු හට මෙහෙ කරන්නෙහි ය. එහෙත් නුඹ ඔහු යටත් කළ විට ඔහුගේ වියගස නුඹේ කරින් ගසාදමනු ඇත.”
				</verse>
				<verse number="41">තම පියා ජාකොබ්ට දුන් ආශීර්වාදය නිසා ඒසව් ජාකොබ්ට වෛර බැන්දේ ය. “මාගේ පියාණන් ගැන වැලපෙන දවස් දැන් ආසන්න ය. එවිට මම මාගේ සොහොයුරු ජාකොබ් මරන්නෙමි”යි ඔහු තමාට ම කියාගත්තේ ය.</verse>
				<verse number="42">දෙටු පුත් ඒසව්ගේ මේ වචන රෙබෙකාට දන්වන ලදින් ඈ පණිවුයක් යවා, තම බාල පුත් ජාකොබ් කැඳවා, “මෙන්න, නුඹේ සොහොයුරු ඒසව් නුඹ මරා, නුඹෙන් පළිගන්න අදහස් කරයි.</verse>
				<verse number="43">එබැවින් දැන් ඉතින් පුතේ, නැඟිට හාරාන්හි මාගේ සහෝදර ලාබන් වෙත පලායන්න,</verse>
				<verse number="44">පලාගොස්, නුඹ සොහොයුරුගේ දරුණු කෝපය පහ වී,</verse>
				<verse number="45">ඔහුගේ කෝපාග්නිය නිවී, නුඹ ඔහුට කළ දේ අමතක වන තුරු මාගේ සහෝදරයා සමඟ ටික කලක් නවතින්න. පසුව මම නුඹට පණිවුඩයක් එවා, එහෙන් නුඹ ගෙන්වාගන්නෙමි. එක දවසේ ම මා නුඹලා දෙදෙනා ම නැති කරගන්නේ කුමට දැ”යි කීවා ය.</verse>
				<verse number="46">රෙබෙකා ඊසාක්ට කතා කොට, “හෙත්ගේ දූවරුන් නිසා මට ජීවිතය එපා වී තිබේ. ජාකොබ් ද මේ රටේ ස්ත්‍රීන් වැනි, හෙත්ගේ දූවරුන්ගෙන් කාන්තාවක සරණ පාවාගත්තොත් මට මාගේ ජීවිතයෙන් මොන වැඩක්දැ”යි කීවා ය.</verse>
			</chapter>
			<chapter number="28">
				<verse number="1">ඊසාක් ද, ජාකොබ් කැඳවා, ඔහුට ආශීර්වාද කොට අණ කරමින්, “නුඹ කානානිය ස්ත්‍රීන්ගෙන් භාර්යාවක සරණ පාවා නොගත යුතු ය.</verse>
				<verse number="2">නැඟිට, මෙසොපොතේමියාවේ නුඹේ මවගේ පියා වන බෙතුයෙල්ගේ ගෙදරට යන්න; එහි ගොස් නුඹේ මවගේ සහෝදර වූ ලාබන්ගේ දූවරුන්ගෙන් භාර්යාවක සරණ පාවාගන්න;</verse>
				<verse number="3">සියලු බලැති දෙවියන් වහන්සේ නුඹට ආශීර්වාද කොට, නුඹ සමෘද්ධ කර, නුඹ ජාතීන් සමූහයක් වන පිණිස, උන් වහන්සේ නුඹ වැඩි වර්ධනය කරන සේක් වා!</verse>
				<verse number="4">තවද, උන් වහන්සේ ආබ්‍රහම්ට දුන්, නුඹ දැන් විදේශිකයෙකු ව වසන රට, නුඹට උරුම වන පිණිස, ආබ්‍රහම්ගේ ආශීර්වාදය නුඹටත් නුඹේ පෙළපතටත් දානය කරන සේක් වා”යි කී ය.</verse>
				<verse number="5">මෙලෙස කියා, ඊසාක් ජාකොබ් පිටත් කොට හැරියේ ය. ඔහු මෙසොපොතේමියාවේ අරමීය ජාතික බෙතුයෙල්ගේ පුත් ලාබන් වෙත ගියේය. ලාබන්, ජාකොබ්ගේ හා ඒසව්ගේ මව වන රෙබෙකාගේ සහෝදරයා ය.</verse>
				<verse number="6">ඊසාක් ජාකොබ්ට ආශීර්වාද කොට, මෙසොපොතේමියාවෙන් බිරිඳක සරණ පාවාගනු පිණිස එහි යැවූ බව ද, ඔහු ආශීර්වාද කරද්දී, “කානානිය ස්ත්‍රීන්ගෙන් බිරිඳක පාවා නොගත යුතු ය”යි ඔහුට අණ කළ බව ද,</verse>
				<verse number="7">ජාකොබ්, පියාට හා මවට කීකරු ව මෙසොපොතේමියාවට ගිය බව ද ඒසව් දිටී ය.</verse>
				<verse number="8">මෙසේ ඒසව් තම පිය ඊසාක්ට, කානානිය කාන්තාවන් රිසි නො වූ බව තේරුම්ගත් විට</verse>
				<verse number="9">ඔහු ඉෂ්මායෙල් වෙත ගොස්, තමාට සිටි භාර්යාවන්ට අමතර ව, ආබ්‍රහම් පුත් ඉෂ්මායෙල්ගේ දුව වන නෙබායොත්ගේ සහෝදරී මහලත් ද, තම භාර්යාව වශයෙන් සරණ පාවාගත්තේ ය.</verse>
				<verse number="10">ජාකොබ් බෙයර්-ෂෙබායෙන් නික්ම හාරාන් බලා ගියේය.</verse>
				<verse number="11">ඔහු එක්තරා ස්ථානයකට පැමිණ, ඉර බැස ගිය හෙයින්, මුළු රාත්‍රිය ම එහි ගත කෙළේ ය. තවද, ඔහු එතැනින් ගලක් රැගෙන, එය මත හිස තබාගෙන නිදන්නට විය.</verse>
				<verse number="12">එවිට ඔහු සිහිනයක් දිටී ය. පුදුමයකි! පොළොවෙහි තබන ලද ඉණිමඟකි. එහි මුදුන අහස දක්වා විය. මෙන්න, දෙවියන් වහන්සේගේ දූතයෝ එහි නඟිමින් ද බසිමින් ද සිටියෝ ය.</verse>
				<verse number="13">සමිඳාණන් වහන්සේ එයට ඉහළින් සිට, “මම වනාහි නුඹේ පියා වූ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද වන සමිඳාණන් වහන්සේ වෙමි. නුඹ සැතපී සිටින දේශය මම නුඹටත්, නුඹේ පෙළපතටත් දෙන්නෙමි.</verse>
				<verse number="14">තවද, නුඹේ පෙළපත පොළොවේ දූවිලි මෙන් වැඩි වී, උතුරු, දකුණු, බටහිර, නැගෙනහිර දිශාවල පැතිර යන්නේ ය. මිහි පිට සියලු ජාතීහු නුඹ හා නුඹේ පෙළපත මඟින් තමන් ආශීර්වාද කරගන්නෝ ය.</verse>
				<verse number="15">මෙන්න, මම ද නුඹ සමඟ සිටිමි. නුඹ යන සියලු තැන්හි මම නුඹ රැක බලාගෙන මෙම දේශයට ම නුඹ නැවත ගෙනෙන්නෙමි. මන්ද, මා නුඹට කී දේ ඉටු කරන තුරු මම නුඹ අත් නොහරින්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="16">ජාකොබ් නින්දෙන් අවදි ව, “සැබැවින් ම සමිඳාණන් වහන්සේ මෙම ස්ථානයෙහි වැඩ සිටින සේක. එහෙත් මම එය නොදැන සිටියෙමි”යි කී ය.</verse>
				<verse number="17">ඔහු බිය වී, “මේ ස්ථානය කෙතරම් බියකරු ද? මෙය අනෙකක් නොව දෙවියන් වහන්සේගේ ගෘහයකි; මෙය ස්වර්ගයේ දොරටුව ය”යි පැවසී ය.</verse>
				<verse number="18">ජාකොබ් අලුයම නැඟිට, තම හිසට තැබූ ගල ගෙන, සිහිවටනයක් කොට එය සිටුවා, එහි මුදුනේ තෙල් වත් කෙළේ ය.</verse>
				<verse number="19">තවද, ඔහු ඒ ස්ථානයට දෙවියන් වහන්සේගේ ගෘහය යන අර්ථය ඇති බෙතෙල් යයි නම් කෙළේ ය. එහෙත් ඒ නගරයට ඊට කලින් තිබූ නම ලූස් ය.</verse>
				<verse number="20">ඔහු භාරයක් ඔප්පු කරමින්, “දෙවියන් වහන්සේ මා සමඟ වැඩසිට, මෙසේ මා යන මඟ ආරක්ෂා කර, මට කන්නට ආහාර ද අඳින්නට වස්ත්‍ර ද දෙන සේක් නම්,</verse>
				<verse number="21">අනතුරක් නොමැති ව මාගේ පියාගේ ගෘහයට මට ආපසු යන්න සලස්වන සේක් නම්, සමිඳාණන් වහන්සේ මාගේ දෙවියන් වහන්සේ වන සේක.</verse>
				<verse number="22">තවද, සිහිවටනයක් මෙන් මා සිටවූ මේ ගල දෙවියන් වහන්සේගේ ගෘහය වන්නේ ය. ඔබ මට දෙන සියල්ලෙන් සැබැවින් ම මම ඔබට දසයෙන් කොටසක් දෙන්නෙමි”යි කී ය.</verse>
			</chapter>
			<chapter number="29">
				<verse number="1">ජාකොබ් ගමන් කොට පෙරදිග ජනයාගේ දේශයට පැමිණියේ ය.</verse>
				<verse number="2">එවිට ඔහු බැලූ කල පුදුමයකට පිට්ටනියේ ළිඳක් ද, ළිඳ ළඟ වැතිර සිටි බැටළු රැළවල් තුනක් ද දිටී ය. බැටළුවන්ට වතුර දෙන ලද්දේ ඒ ළිඳෙන් ය. තවද, ළිං කටේ තැබූ විශාල ගලක් විය.</verse>
				<verse number="3">බැටළු රැළවල් සියල්ල ම එතැනට එකතු වූ විට, එඬේරු ළිං කටින් ගල පෙරළා බැටළුවන්ට වතුර දුන් පසු, ළිං කටේ තිබූ තැන ම ගල නැවත තැබූ හ.</verse>
				<verse number="4">ජාකොබ් එඬේරුන් අමතා, “සහෝදරයෙනි, ඔබ කොහේ සිට ආවහු දැ”යි ඇසූ විට, “අපි හාරාන් දේශයෙන් ය”යි ඔව්හු කී හ.</verse>
				<verse number="5">ඔහු නැවත කතා කරමින්, “නාහෝර්ගේ පුත් ලාබන්, ඔබ දන්නහු දැ”යි ඇසූ විට, “අපි ඔහු දන්නෙමු”යි ඔව්හු පිළිතුරු දුන්හ.</verse>
				<verse number="6">එවිට ජාකොබ් ඔවුන් අමතමින්, “ඔහු සුව සේ සිටී දැ”යි ඇසූ විට, “ඔහු සුව සේ සිටියි. අර බැටළුවන් සමඟ එන්නී ඔහුගේ දියණිය වන රාකෙල් ය”යි ඔව්හු කී හ.</verse>
				<verse number="7">එවිට ජාකොබ්, “තවමත් මද්දහන ය. බැටළු රැළවල් රැස් කරන වේලාව නොවෙයි; එබැවින් බැටළුවන්ට වතුර දී, තණ බිමට ඔවුන් ආපසු ගෙනයන්නැ”යි කී ය.</verse>
				<verse number="8">ඔව්හු උත්තර දෙමින්, “බැටළු රැළවල් සියල්ල ම එකතු කර, ළිං කටින් ගල පෙරළාදමන තුරු, අපට එසේ කළ නොහැක. බැටළුවන්ට වතුර දෙන්නේ එවිට ය”යි කී හ.</verse>
				<verse number="9">ජාකොබ් මෙසේ ඔවුන් සමඟ කතා කරමින් සිටිය දී රාකෙල් තම පියාගේ බැටළුවන් සමඟ පැමිණියා ය. මන්ද, උන් රැකබලාගත්තේ ඈ ය.</verse>
				<verse number="10">ජාකොබ් තම මාමා වන ලාබන්ගේ දුව වන රාකෙල් ද තම මාමාගේ බැටළුවන් ද දුටු විට, ඔහු ළං වී, ළිං කටින් ගල අහකට පෙරළා, තම මාමාගේ බැටළුවන්ට වතුර බොන්න දුන්නේ ය.</verse>
				<verse number="11">පසුව ඔහු රාකෙල් සිඹගෙන, මහ හඬින් හැඬී ය.</verse>
				<verse number="12">තවද, තමා ඇගේ පියාගේ නෑයෙකු බවත්, රෙබෙකාගේ පුත්‍රයා බවත් ඔහු රාකෙල්ට දැන්වී ය. ඈ ද දිව ගොස් තම පියාට ඒ බව දැන්වූවා ය.</verse>
				<verse number="13">ලාබන් තම සොහොයුරීගේ පුත් ජාකොබ්ගේ වගතුග ඇසූ විට, ඔහු හමු වීමට දිව ගොස්, ඔහු සිප වැළඳගෙන තම නිවසට ඔහු ගෙනාවේ ය.</verse>
				<verse number="14">එවිට ලාබන් ඔහුට කතා කොට, “සැබැවින් ම ඔබ මාගේ ම මස් හා ලේ නෑයෙක් ය”යි කී ය. ජාකොබ් ද ඔහු සමඟ මාසයක් විසී ය.</verse>
				<verse number="15">ඉන්පසු ලාබන් ජාකොබ්ට කතා කොට, “ඔබ මාගේ ඥාතියෙකු නිසා නොමිලේ මට සේවය කිරීම යුතු ද? ඔබේ වේතනය කුමක් දැ යි මට දන්වන්නැ”යි කී ය.</verse>
				<verse number="16">ලාබන්ට දූවරු දෙදෙනෙක් සිටියාහ. වැඩිමලාගේ නම ලෙයා ය; බාලයාගේ නම රාකෙල් ය.</verse>
				<verse number="17">ලෙයාගේ ඇස් සිවුමැලි ය; රාකෙල් රූමත් ය, සුකොමල ය,</verse>
				<verse number="18">ජාකොබ් රාකෙල්ට පෙම් බැඳ, “ඔබේ බාල දූ වන රාකෙල් නිසා අවුරුදු සතක් මම ඔබට සේවය කරන්නෙමි”යි කී ය.</verse>
				<verse number="19">ලාබන් ද කතා කොට, “වෙන මිනිසෙකුට ඈ පාවා දෙනවාට වඩා, ඔබට ඈ දීම හොඳ ය. එබැවින් මා සමඟ නවතින්නැ”යි උත්තර දුනි.</verse>
				<verse number="20">ජාකොබ් ද රාකෙල් නිසා අවුරුදු සතක් සේවය කෙළේ ය. එහෙත්, ඔහු ඈට ප්‍රේම කළ බැවින් ඒ ගත කළ කාලය ස්වල්ප දවසක් මෙන් ඔහුට හැඟිණි.</verse>
				<verse number="21">ඉන්පසු ජාකොබ් ලාබන්ට කතා කොට, “මාගේ සේවා කාලය දැන් සම්පූර්ණ වී ඇත. මාගේ භාර්යාව සමඟ එක් වනු පිණිස ඇය මට දෙන්නැ”යි ඉල්ලී ය.</verse>
				<verse number="22">ලාබන් එහි සිටි සියලු මිනිසුන් කැඳවා මංගල භෝජනයක් පැවැත්වී ය.</verse>
				<verse number="23">පසුව එම රාත්‍රියේ ඔහු, තම දුව වන ලෙයා කැඳවා ගෙන ජාකොබ් වෙත ගෙනාවේ ය. ජාකොබ් ද ඈ සමඟ එක් විය.</verse>
				<verse number="24">තවද, ලාබන් තම දාසිය වන ශිල්පා, ලෙයාගේ සේවිකාව වශයෙන් තම දුවට දුන්නේ ය.</verse>
				<verse number="25">පසු දින උදය පහන් වූ කල පුදුමයකට මෙන්, එහි සිටියේ ලෙයා ය. එවිට ඔහු ලාබන් අමතා, “ඔබ මට කළ මේ දේ කුමක් ද? මා ඔබට සේවය කෙළේ රාකෙල් නිසා නොවේ ද? ඔබ මා රැවටුවේ මන්දැ”යි ඇසී ය.</verse>
				<verse number="26">ලාබන් ද උත්තර දෙමින්, “වැඩිමලාට කලින් බාලයා සරණ පාවා දීම අපේ රටේ සිරිත නොවේ.</verse>
				<verse number="27">ඇගේ මංගල සතිය සම්පූර්ණ කරන්න, ඔබ මට තව සත් අවුරුද්දක් සේවය කරන්නෙහි නම් රාකෙල් ද ඔබට සරණ පාවා දෙන්නෙමි”යි කී ය.</verse>
				<verse number="28">ජාකොබ් ද එසේ කර, මංගල සතිය සම්පූර්ණ කළ පසු, ලාබන් ඔහුට තම දුව වන රාකෙල්, බිරිඳ වශයෙන් සරණ පාවා දුන්නේ ය.</verse>
				<verse number="29">ඔහු, තම දාසිය වන බිල්හා, තම දුව වන රාකෙල්ට ඇගේ සේවිකාව වශයෙන් දුනි.</verse>
				<verse number="30">ජාකොබ්, රාකෙල් සමඟ ද එක් වුණි. ඔහු ලෙයාට වඩා රාකෙල්ට ප්‍රේම කළේ ය. තව අවුරුදු සතක් ද ලාබන්ට සේවය කෙළේ ය.</verse>
				<verse number="31">තවද, ලෙයා සිය සැමියාට නුරුස්සන බව සමිඳාණන් වහන්සේ දුටු විට, උන් වහන්සේ ඈට පිළිසිඳගන්නට සැලැස්සූ සේක. එහෙත්, රාකෙල් වඳ ස්ත්‍රියක් වූවා ය.</verse>
				<verse number="32">ලෙයා ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. එවිට ඈ, “සමිඳාණන් වහන්සේ මාගේ දුක බැලූ සේක. දැන් වත් මාගේ සැමියා මට ප්‍රේම කරනු ඇතැ”යි කියමින් ඈ ඔහුට රූබන් යන නම දුන්නා ය.</verse>
				<verse number="33">ඈ නැවතත් ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. “මා නුරුස්සන බව සමිඳාණන් වහන්සේ දුටු බැවින් උන් වහන්සේ මට මේ පුතු ද, දුන් සේකැ”යි කියමින් ඈ ඔහුට සිමියොන් යන නම තැබුවා ය.</verse>
				<verse number="34">ඈ නැවතත් පුතෙකු ලැබුවා ය. “මා මාගේ ස්වාමි පුරුෂයා හට පුතුන් තිදෙනෙකු දුන් බැවින් දැන් වත් ඔහු මට ඇලුම් වන්නේ ය” කියා ඈ ඔහුට ලෙවී යන නම තැබුවා ය.</verse>
				<verse number="35">ඈ නැවතත් ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. ඈ, “දැන් මම සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්නෙමි”යි කියමින් ඔහුට ජුදා යන නම දුන්නා ය. ඉන්පසු ඇගේ ගැබ් ගැනීම නැවතිණි.</verse>
			</chapter>
			<chapter number="30">
				<verse number="1">රාකෙල් තමා ජාකොබ්ට දාව දරුවන් නොලැබූ බව දුටු විට ඈ සිය සොහොයුරියට ඊර්ෂ්‍යා කරමින්, ජාකොබ් අමතා, “මට දරුවන් දෙන්න, නැත්නම් මම නසිමි”යි කීවා ය.</verse>
				<verse number="2">එවිට ජාකොබ් ඈ සමඟ කෝපයෙන් දැවී, “මට දෙවියන්ගේ තැන ගත හැකි ද? ගැබ්ගැනීමෙන් ඔබ වළක්වා ඇත්තේ උන් වහන්සේ ය”යි පැවසී ය.</verse>
				<verse number="3">ඈ ද කතා කරමින්, “මෙන්න, මාගේ සේවිකාව වන බිල්හා, ඈ සමඟ එක් වන්න. ඇගෙන් මට දරුවන් ලබාගත හැක. මෙලෙස ඈ මඟින් මට දරුවන් ඇති වේ ය”යි කීවා ය.</verse>
				<verse number="4">මෙසේ කියා ඈ තම සේවිකාව වන බිල්හා ජාකොබ්ට බිරිඳ වශයෙන් පාවා දුන්නා ය. ඔහු ද ඈ සමඟ එක් වුණි.</verse>
				<verse number="5">ඈ ගැබ්ගෙන, ජාකොබ්ට දාව පුතෙකු ලැබුවා ය.</verse>
				<verse number="6">එවිට රාකෙල්, “දෙවියන් වහන්සේ මට යුක්තිය ඉටු කළ සේක. උන් වහන්සේ මාගේ හඬටත් සවන් දී, මට පුතෙකු දුන් සේකැ”යි කියා ඔහුට දාන් යන නාමය තැබුවා ය.</verse>
				<verse number="7">රාකෙල්ගේ සේවිකාව වන බිල්හා නැවතත් ගැබ්ගෙන ජාකොබ්ට දාව දෙ වන පුතෙකු ද ලැබුවා ය.</verse>
				<verse number="8">එවිට රාකෙල්, “මාගේ සහෝදරී සමඟ මාර යුද්ධයක් කර ජය ගතිමි”යි කියා ඔහුට නප්තලී යන නාමය තැබුවා ය.</verse>
				<verse number="9">ලෙයා ද, තම ගැබ්ගැනීම නැවතුණු බව දුටු විට ඈ ඇගේ සේවිකාව වන ශිල්පා රැගෙන, ජාකොබ්ට බිරිඳ වශයෙන් පාවා දුන්නා ය.</verse>
				<verse number="10">ශිල්පා ද ගැබ්ගෙන ජාකොබ්ට දාව පුතෙකු ලැබුවා ය.</verse>
				<verse number="11">එවිට ලෙයා, “මම කෙතරම් වාසනාවන්ත ද” කියා ඔහුට ගාද් යන නාමය තැබුවා ය.</verse>
				<verse number="12">ලෙයාගේ සේවිකාව වන ශිල්පා ජාකොබ්ට දාව දෙ වන පුතෙකු ද ලැබුවා ය.</verse>
				<verse number="13">එවිට ලෙයා, “මම කෙතරම් භාග්‍යවන්ත ද? ස්ත්‍රීහු මා ‘භාග්‍යවන්තී ය’යි පවසන්නෝ ය” කියා ඈ ඔහුට ආෂෙර් යන නාමය තැබුවා ය.</verse>
				<verse number="14">තිරිඟු අස්වැන්න නෙළන කාලයේ දී රූබන් කෙතට ගොස්, එහි, දුදායිම් නම් පැළ කීපයක් සොයාගෙන විත් තම මව වන ලෙයාට දුනි. එවිට රාකෙල් ඈට කතා කොට, “කරුණාකර, මට ඔබේ පුත්‍රයා ගෙනා දුදායිම් පැළවලින් ටිකක් දෙන්නැ”යි කීවා ය.</verse>
				<verse number="15">ඈ රාකෙල්ට උත්තර දෙමින්, “ඔබ මාගේ සැමියා පාවාගත්තා මදි ද? දැන් මා පුතුන්ගේ දුදායිම් පැළ ටිකත් පැහැරගන්න ද යන්නේ” කියා කීවා ය. එවිට රාකෙල් ද, “හොඳයි, එසේ නම් ඔබ පුතුන්ගේ දුදායිම් පැළ මට දුන්නොත් අද රාත්‍රියේ මාගේ සැමියා සමඟ ඔබට සැතපෙන්නට පුළුවනැ”යි කීවා ය.</verse>
				<verse number="16">සවස් කාලයේ දී ජාකොබ් කෙතේ සිට එන විට, ලෙයා ඔහු හමුවීමට ගොස්, “ඔබ මා වෙත පැමිණිය යුතු ය. මා පුතුන්ගේ දුදායිම් පැළ දීමෙන් මම ඔබ කුලියට ගත්තෙමි”යි ඈ කීවෙන් එදා රාත්‍රියේ ඔහු ඈ සමඟ සැතපුණේ ය.</verse>
				<verse number="17">දෙවියන් වහන්සේ ලෙයාට සවන් දුන් සේක; ඈ ගැබ්ගෙන ජාකොබ්ට දාව පස් වන පුතෙකු ලැබුවා ය.</verse>
				<verse number="18">එවිට ලෙයා, “මාගේ සේවිකාව මාගේ සැමියාට දුන් බැවින් දෙවියන් වහන්සේ මාගේ කුලිය ගෙවූ සේකැ”යි කියා ඔහුට ඉස්සාකර් යන නාමය තැබුවා ය.</verse>
				<verse number="19">ලෙයා නැවතත් ගැබ්ගෙන, ජාකොබ්ට දාව සය වන පුතු ලැබුවා ය.</verse>
				<verse number="20">“දෙවියන් වහන්සේ මට මහඟු දායාදයක් දුන් සේක. මාගේ සැමියාට දාව මා පුතුන් සය දෙනෙකු ලැබූ බැවින් දැන් වත් ඔහු මට ගරු කරන්නේ ය”යි කියා ඈ තම පුතුට සාබුලොන් යන නාමය දුන්නා ය.</verse>
				<verse number="21">පසුව ඈ දුවක ලැබුවා ය. ඈට දීනා යන නාමය තැබුවා ය.</verse>
				<verse number="22">තවද, දෙවියන් වහන්සේ රාකෙල් සිහි කර ඈට සවන් දී, ඈට ගැබ්ගැනීමට සැලැස්සූ සේක.</verse>
				<verse number="23">ඈ ද ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. “දෙවියන් වහන්සේ මාගේ නින්දාව පහකළ සේකැ”යි කියමින්,</verse>
				<verse number="24">ඈ ඔහුට ජෝසෙප් යන නාමය දී, “සමිඳාණන් වහන්සේ මට තවත් පුතෙකු එකතු කරන සේක් වා!”යි කියා පැතුවා ය.</verse>
				<verse number="25">රාකෙල් ජෝසෙප් ලැබූ පසු ජාකොබ් ලාබන්ට කතා කොට, “මාගේ ම ගෘහයට, මාගේ ම දේශයට යන පිණිස මා යන්න හරින්න.</verse>
				<verse number="26">මාගේ භාර්යාවන් මට දෙන්න, මම ඔවුන් නිසා ඔබට සේවය කෙළෙමි. මාගේ දරුවන් ද මට දී මා යන්න හරින්න. ඔබට මා කළ සේවය ඔබ දන්නෙහි ය”යි කී ය.</verse>
				<verse number="27">ලාබන් ඔහුට උත්තර දෙමින්, “ඔබ මට කරුණාව දක්වන්නෙහි නම් මට සවන් දෙන්න. මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ නිසා මට ආශීර්වාද කළ බව මම නිමිති බැලීමෙන් දැනගතිමි.</verse>
				<verse number="28">ඔබේ කුලිය නියම කරන්න; මම එය ඔබට ගෙවන්නෙමි”යි කී ය.</verse>
				<verse number="29">එවිට ජාකොබ් ඔහු අමතමින්, “ඔබට මම කෙසේ සේවය කෙළෙම් ද කියාත්, ඔබේ ගව පට්ටි මා බාරේ සිටි සැටිත් ඔබ දන්නෙහි ය.</verse>
				<verse number="30">මා පැමිණෙන්න පෙර ඔබ සතු ස්වල්ප දේ, දැන් ඉමහත් ලෙස බහුල වී ඇත. මා පැමිණි පසු සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කළ සේක. දැන් ඉතින් මාගේ පවුලේ අභිවෘද්ධිය තකා මම යමක් සපයන්නේ කවරදා දැ”යි ඇසී ය.</verse>
				<verse number="31">ඔහු ද උත්තර දෙමින්, “මා ඔබට කුමක් ගෙවිය යුතු දැ”යි ඇසූ විට, “ඔබ මට කිසිවක් දෙන්න උවමනා නැත. මා මේ කියන්න යන දේ ඔබ මට ඉටු කරන්නෙහි නම්, මම නොකඩවා ම ඔබේ බැටළු රැළ කවා පොවා රැකබලාගන්නෙමි.</verse>
				<verse number="32">මම අද ඔබේ බැටළු පට්ටි මැදින් ගමන් කරමි. බැටළුවන්ගෙන් කළු පාට ඇති සියලු සතුන් ද එළුවන්ගෙන් තිත් සහ පුල්ලි ඇති උන් ද වෙන් කරමි. මාගේ කුලිය එය වේ.</verse>
				<verse number="33">තවද, මාගේ අවංක භාවය ද ඔබට සොයාගත හැක. ඔබ මාගේ කුලිය ගැන සෝදිසි කර බලන විට, එළුවන් අතරෙන් තිත් හෝ පුල්ලි හෝ නැති එකෙකු වත් බැටළුවන් අතරෙන් කළු පාට නැති එකෙකු වත් මට සිටියොත් ඌ සොරාගත් එකෙකු සැටියට ඔබට ගණන් ගත හැකි ය”යි කීවේ ය.</verse>
				<verse number="34">ලාබන් ද, “හොඳයි, ඔබ කී ලෙස සිදුවේවා”යි පිළිතුරු දුනි.</verse>
				<verse number="35">එහෙත්, ලාබන් එදින එළුවන්ගෙන් වයිරම් සහ පුල්ලි වැටුණු උන් ද, එළු දෙනුන්ගෙන් තිත් සහ පුල්ලි සහිත සියලු සතුන් ද, සුදු පාට ඇති උන් ද, බැටළුවන්ගෙන් කළු පාට ඇති සියලු සතුන් ද වෙන් කර, තම පුතුන් හට බාර දී</verse>
				<verse number="36">ජාකොබ්ගෙන් වෙන් ව තුන් දිනක් දුර ගමන් කෙළේ ය. ජාකොබ් ද ලාබන්ගේ ඉතිරි බැටළු රැළවල් පෝෂණය කෙළේ ය.</verse>
				<verse number="37">ඉන්පසු ජාකොබ්, ලිබ්නෝ, ලුස් සහ ආර්මොන් යන ගස්වලින් අමු දඬු ගෙන, ඒවායේ සුද පෙනෙන ලෙස, පටු තීරු වශයනේ පොතු ගලවා,</verse>
				<verse number="38">එළු බැටළු රැළවල් වතුර බොන්න ආ විට, උන් ඉදිරිපිට, වතුර ඔරුවල ඒවා තැබුවේ ය. උන් ද වතුර බොන්න ආ කල පට්ටි ගැසුණි.</verse>
				<verse number="39">මෙසේ ඒ සත්තු, දඬු ඉදිරියෙහි පට්ටි ගැසී, ගැබ්ගෙන, වයිරම් වැටුණු, තිත් සහ පුල්ලි ඇති පැටවුන් බිහි කළහ.</verse>
				<verse number="40">පසුව ඔහු බැටළුවන් වෙන් කර ලාබන්ගේ රැළේ සිටි කළු පාට වූ ද, වයිරම් වැටුණා වූ ද සතුන් දෙසට ඔවුන් හැරෙව්වේ ය. ඇරත් ඔහු තමාගේ පට්ටි, ලාබන්ගේ සතුන් සමඟ මිශ්‍ර නොකර, උන් වෙන් කොට තැබී ය.</verse>
				<verse number="41">තවද, ඔහු, වඩා ශක්තිමත් සතුන් පට්ටි ගසන සැම විට ම, දඬු ඉදිරියේ ගැබ්ගන්න පිණිස, සතුන් ඉදිරියේ වතුර ඔරුවල ඒවා තැබී ය.</verse>
				<verse number="42">එහෙත්, සත්තු බෙලහීන ව සිටියෝ නම්, ඔහු ඒ දඬු නොතැබී ය. මෙසේ කිරීමෙන් බෙලහීන සත්තු ලාබන්ගේ වූ හ. ශක්තිමත් වූවෝ ජාකොබ්ගේ වූ හ.</verse>
				<verse number="43">මෙලෙසින් ජාකොබ් අතිශයින් ධනවත් විය. ඔහුට බොහෝ එළු බැටළු රැළවල් ද දාස දාසීහු ද ඔටුවෝ ද කොටළුවෝ ද වූ හ.</verse>
			</chapter>
			<chapter number="31">
				<verse number="1">“ජාකොබ් අපේ පියා සතු සියල්ල පැහැරගත්තේ ය. අපේ පියා සතු දෙයින් ඔහු තම සියලු සම්පත් ලබා ගත්තේ ය” කියා ලාබන්ගේ පුතුන් කියනු ජාකොබ්ට ඇසිණි.</verse>
				<verse number="2">ඇරත් තමා කෙරෙහි ඔහු කලින් මෙන් ප්‍රිය මනාප නො වූ බව ලාබන්ගේ මුහුණින් ම ජාකොබ්ට පෙනී ගියේය.</verse>
				<verse number="3">තවද, සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “ඔබේ පියවරුන්ගේ දේශයට, ඔබේ නෑයන් වෙතට ආපසු යන්න. මම ද ඔබ සමඟ සිටිමි”යි වදාළ සේක.</verse>
				<verse number="4">එවිට ජාකොබ්, රාකෙල් සහ ලෙයා වෙත පණිවුඩයක් යවා, තමාගේ සතුන් සිටි පිට්ටනියට ඔවුන් කැඳවා,</verse>
				<verse number="5">“ඔබේ පියා මා කෙරෙහි කලින් මෙන් ප්‍රිය මනාප නොවන බව ඔහුගේ මුහුණින් මට පෙනේ. එහෙත්, මාගේ පියාගේ දෙවියන් වහන්සේ මා සමඟ වැඩ සිටින සේක.</verse>
				<verse number="6">තවද, මාගේ මුළු ශක්තිය යොදා මා ඔබේ පියාට සේවය කළ බව ඔබ දන්නහු ය.</verse>
				<verse number="7">එහෙත්, ඔබේ පියා මා රවටා, මාගේ කුලිය දස වාරයක් වෙනස් කෙළේ ය. එහෙත්, මට නපුරක් කිරීමට දෙවියන් වහන්සේ ඔහුට ඉඩ නුදුන් සේක.</verse>
				<verse number="8">‘ඔබේ කුලිය පුල්ලි වැටුණු සතුන්ය’යි ඔහු කී විට සත්තු සියල්ලෝ ම පුල්ලි වැටුණු පැටවුන් ගැසූ හ. ‘ඔබේ කුලිය වයිරම් වැටුණු සතුන්ය’යි ඔහු කී විට සත්තු සියල්ලෝ ම වයිරම් වැටුණු පැටවුන් ගැසූ හ.</verse>
				<verse number="9">මෙලෙස දෙවියන් වහන්සේ ඔබේ පියාගේ සතුන් රැගෙන මට දුන් සේක.</verse>
				<verse number="10">“තවද සතුන් ගැබ්ගන්න කාලයේ දී මම සිහිනෙන්, නෙත් යොමා බැලූ විට මෙවැන්නක් දිටිමි: එනම්, දෙනුන් සමඟ පට්ටි ගසන බැටළුවෝ සියල්ලෝ ම වයිරම් වැටුණු, පුල්ලි සහ තිත් ඇත්තෝ වූ හ.</verse>
				<verse number="11">එවිට දෙවියන් වහන්සේගේ දූතයා සිහිනෙන් මට කතා කරමින්, ‘ජාකොබ්’ කියා මා ඇමතුවෙන්, මම ද, ‘මම මෙහි ය’ කියා පිළිතුරු දුනිමි.</verse>
				<verse number="12">එවිට ඔහු, ‘දෙනුන් සමඟ පට්ටි ගසන සියලු බැටළුවන් ම වයිරම් වැටුණු, පුල්ලි සහ තිත් සහිත සතුන් බව නෙත් යොමා බලන්න. එසේ වන්නේ, ලාබන් ඔබට කරන සියල්ල මා දුටු හෙයිනි.</verse>
				<verse number="13">ඔබ සිහිවටන ස්ථම්භයක් ආලේප කර, මට භාරයක් පොරොන්දු වූ ස්ථානය වන බෙතෙල්හි දී ප්‍රකාශ වූ දෙවියන් වහන්සේ මම ය. දැන් නැඟිට, මේ දේශයෙන් පිටත් වී, නුඹ උපන් දේශයට ආපසු යන්න’ කියා කීවේ යැ”යි ඔවුන්ට සැළ කෙළේ ය.</verse>
				<verse number="14">එවිට රාකෙල් සහ ලෙයා පිළිතුරු දෙමින්, “අපේ පියාගේ ගෘහයෙහි අප වෙනුවෙන්, තව යම් කිසි කොටසක් හෝ උරුමයක් හෝ තිබේ ද?</verse>
				<verse number="15">ඔහු අප අමුත්තන් මෙන් සලකනවා නොවේ ද? මන්ද, ඔහු අප විකුණා ඇත. අපේ සම්පත ද යසට කාදමා ඇත.</verse>
				<verse number="16">තවද, දෙවියන් වහන්සේ අපේ පියාගෙන් රැගත් සියලු සම්පත අපේ ය; අප දරුවන්ගේ ය. දැන් ඉතින් දෙවියන් වහන්සේ යමක් ඔබට වදාළ සේක් නම් එය ඉටු කරන්නැ”යි කීවෝ ය.</verse>
				<verse number="17">එවිට ජාකොබ් ද සූදානම් ව, තම පුතුන් හා භාර්යාවන් ඔටුවන් පිට නංවා,</verse>
				<verse number="18">මෙසොපොතේමියාවෙහි දී තමා හිමිකරගත් එළු බැටළු රැළවල් ද, උපයාගත් සියලු සම්පත් ද, තමාගේ සතුන් ද දක්කාගෙන කානාන් දේශයේ තම පියා වන ඊසාක් වෙත යන පිණිස නික්මිණි.</verse>
				<verse number="19">ලාබන් තමාගේ බැටළුවන්ගේ ලෝම කපන්නට ගොස් සිටිය දී රාකෙල් තම පියාට අයිති කුල දේවතා රූප සොරා ගත්තා ය.</verse>
				<verse number="20">ජාකොබ් තමා පලායන බව අරමීය ජාතික ලාබන්ට නොදැන්වූයෙන්, ඔහු රැවටී ය.</verse>
				<verse number="21">මෙසේ ජාකොබ් තමා සතු සියල්ල සමඟ පලාගොස් යුප්‍රටීස් නම් ගංගාවෙන් එතෙර වී, ගිලියද් කන්ද බලා ගියේය.</verse>
				<verse number="22">තුන් වන දින ජාකොබ් පලාගිය බව ලාබන්ට දන්වන ලදී.</verse>
				<verse number="23">ඔහු තමා කැටුව සිය පිරිස රැගෙන, සත් දිනක් ජාකොබ් ලුහුබැඳ ගොස් ගිලියද් කන්දේ දී ඔහුට ළඟා විය.</verse>
				<verse number="24">තවද, රාත්‍රි කාලයේ දී දෙවියන් වහන්සේ, ස්වප්නයකින් අරමීය ජාතික ලාබන් වෙත පැමිණ, ඔහුට කතා කොට, “ඔබ ජාකොබ්ට කිසිවක් නොකියන ලෙස ප්‍රවේසම් වන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="25">ලාබන් ද කන්ද උඩ සිය කඳවුරු බැඳ සිටි ජාකොබ් වෙතට පැමිණියේ ය. ලාබන් සිය පිරිස සමඟ කඳවුරු බැඳ සිටියේ ගිලියද් කන්දෙහි ය.</verse>
				<verse number="26">එවිට ඔහු ජාකොබ්ට කතා කොට, “මා රවටා මාගේ දූවරුන් කඩුවෙන් හිරබාරයට ගත්තවුන් මෙන් රැගෙන යාමෙන් ඔබ මට කෙළේ කුමක් ද?</verse>
				<verse number="27">ඔබ රහසින් පලාගියේ මන් ද? මට හොරෙන් ගියේ ඇයි? ප්‍රීති ඝෝෂාවෙන් හා ගීයෙන් ද කිංකිණි රබන් හඬින් හා වීණා නාදයෙන් ද ඔබ පිටත් කර හැරීමට මට හැකි වන සේ, මට නොදැන්නුවේ මන් ද?</verse>
				<verse number="28">ඇරත් මාගේ මුණුබුරන් හා දූවරුන් සිඹගැනීමට ඔබ මට ඉඩ නොහැරියෙහි ය. මෙසේ කිරීමෙන් ඔබ පිස්සෙකු මෙන් හැසිරී ඇත.</verse>
				<verse number="29">ඔබට හිංසා කිරීමට මා අත බලය ඇත. එහෙත් ඊයේ රාත්‍රියේ ඔබේ පියාගේ දෙවියන් වහන්සේ මට කතා කරමින්, ‘නුඹ ජාකොබ්ට කිසිවක් නොකියන ලෙස ප්‍රවේසම් වන්නැ’යි වදාළ සේක.</verse>
				<verse number="30">ඔබේ පියාගේ ගෘහය බලා යෑමට ඔබට බලවත් ආශාවක් ඇති වූ නිසා, පිටත් ව ගිය බව මම දනිමි. එහෙත්, ඔබ මා සතු කුල දේවතා රූප සොරාගත්තේ මන්දැ”යි ඇසී ය.</verse>
				<verse number="31">එවිට ජාකොබ් ඔහුට උත්තර දෙමින්, “ඔබ බලහත්කාරයෙන්, ඔබේ දූවරුන් මාගෙන් පැහැරගන්නට තැත් කරති යි කියා මම බිය වුණෙමි.</verse>
				<verse number="32">එහෙත්, ඔබ සතු කුල දේවතා රූප යමෙකු ළඟ තිබී ඔබට සම්බ වේ ද, ඒ තැනැත්තා ජීවතුන් අතර නොසිටියාවේ. අප පිරිස ඉදිරිපිට අප ළඟ ඇති දේ සොයා බලා, ඔබට සතු දේ ගන්නැ”යි කී ය. එහෙත්, රාකෙල් ඒ කුල දේවතා රූප සොරාගත් බව ජාකොබ් දැන සිටියේ නැත.</verse>
				<verse number="33">එවිට ලාබන් ජාකොබ්ගේ කූඩාරමට ඇතුළු විය. පසුව ලෙයාගේ කූඩාරමට සහ සේවිකාවන් දෙදෙනාගේ කූඩාරම්වලට ද ඇතුළු විය. එහෙත් කුල දේවතා රූප ඔහුට සම්බ නොවී ය. ඉන්පසු ඔහු ලෙයාගේ කූඩාරමින් පිට වී, රාකෙල්ගේ කූඩාරමට ඇතුළු විය.</verse>
				<verse number="34">ඈ ඒ දේවතා රූප රැගෙන ඔටුවාගේ සෑදලයේ දමා, ඒවා උඩ හිඳගෙන උන්නා ය. ලාබන් ද කූඩාරම තුළ සෙවූ නමුත්, ඒවා ඔහුට සම්බ නොවී ය.</verse>
				<verse number="35">ඈ තම පියාට කතා කරමින්, “තාත්තා ඉදිරියේ මට නැඟිට සිටීමට නොහැකි වීම ගැන, ඔබ අසතුටු නොවන්න. මන්ද, මාසික ඔසප් වීම මට දැන් ඇතැ”යි කීවා ය. ලාබන් ද ඒ රූප සෙවූ නමුත් ඒවා ඔහුට සම්බ නොවී ය.</verse>
				<verse number="36">එවිට ජාකොබ් තදින් රොස් වී, ලාබන්ට බැණ වැදුණේ ය. “ඔබ මා පසුපස්සේ මෙතරම් වේගයෙන් ලුහුබැඳ ඒමට මා කළ වැරැද්ද කුමක් ද? මා කළ අපරාධය කුමක් ද?</verse>
				<verse number="37">මා සතු සියල්ල ඔබ සොයා බැලූ නමුත්, ඔබ සතු කිසිවක් සොයාගත්තෙහි ද? යමක් සොයාගත්තෙහි නම්, එය මාගේ පිරිස හා ඔබේ පිරිස ඉදිරියෙහි තබන්න. එවිට අප දෙදෙන අතර විනිශ්චය ඔවුන්ට තීරණය කළ හැක.</verse>
				<verse number="38">මේ අවුරුදු විස්ස මම ඔබ සමඟ සිටියෙමි. ඔබේ බැටළු දෙනුන් හා එළු දෙනුන්ගෙන් කිසිවෙකු ගබ්සා වූයේ නැත. ඇරත් ඔබේ රැළවල, එක බැටළුවෙක් වත් මම නොකෑවෙමි.</verse>
				<verse number="39">තවද, වල් සතුන් මරාදැමූ ඔබේ සිවුපාවුන් මම ඔබ වෙත නොගෙනාවෙමි. ඒ පාඩුව, මම විඳදරාගත්තෙමි. රෑ කාලයේ වේ වා, දවල් කාලයේ වේ වා, පැහැරගන්නා ලද සතුන්ගේ වන්දිය ඔබ මගෙන් අය කෙළෙහි ය.</verse>
				<verse number="40">දවල් කාලයේ දී අවු රස්නයෙන් ද රාත්‍රි කාලයේ දී ශීතලයෙන් ද මම වැහැරී ගියෙමි. නින්ද පවා මාගේ ඇස්වලින් බැහැර ගියේය.</verse>
				<verse number="41">ඔබේ ගෘහයෙහි මා විසූ අවුරුදු විස්ස මෙසේ ගතවිණි. ඔබේ දූවරුන් දෙදෙන නිසා අවුරුදු දහහතරක් ද, ඔබේ එළු බැටළු පට්ටි නිසා අවුරුදු හයක් ද මම ඔබට සේවය කෙළෙමි. එහෙත්, ඔබ මාගේ කුලිය දස වාරයක් වෙනස් කෙළෙහි ය.</verse>
				<verse number="42">මාගේ පියාගේ දෙවියන් වහන්සේ ද ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක් භය භක්තිය වූ දෙවියන් වහන්සේ ද මා සමඟ නොසිටි සේක් නම්, ඔබ දැන් මා හිස් අතින් පිටත් කර හරිනවා සිකුරුයි. එහෙත්, දෙවියන් වහන්සේ මාගේ දුක් පීඩාවත්, මාගේ අත්වල ශ්‍රමයත් දැක ඊයේ රෑ ඔබට තරවටු කළ සේකැ”යි කීවේ ය.</verse>
				<verse number="43">එවිට ලාබන් ද ජාකොබ්ට පිළිතුරු දෙමින්, “මේ දූවරු මාගේ දූවරු ය; මේ මුණුබුරෝ මාගේ මුණුබුරෝ ය; මේ සිවුපාවෝ මාගේ සිවුපාවෝ ය. ඔබට පෙනෙන සියල්ල ද මාගේ ය. ඉතින් මේ දූවරුන්ටත්, ඔවුන් බිහි කළ ඔවුන්ගේ දරුවන්ටත් අද දින මා විසින් කුමක් කළ හැකි ද?</verse>
				<verse number="44">එබැවින්, එන්න, ඔබත් මමත් ගිවිසුමක් පිහිටුවා ගනිමු. එය ඔබත් මාත් අතර සාක්ෂියක් පිණිස වේ වා!”යි කීවේ ය.</verse>
				<verse number="45">පසුව ජාකොබ් ගලක් රැගෙන සිහිවටනයක් මෙන් එය සිටෙව්වේ ය.</verse>
				<verse number="46">ඔහු එය සිටුවා, තම පිරිස අමතා, “ගල් රැස්කරන්නැ”යි කීවෙන් ඔව්හු ගල් ගෙන, ගොඩක් ගසා, එය මත වාඩි වී, ආහාර අනුභව කළෝ ය.</verse>
				<verse number="47">ලාබන් ඊටත් ජෙගර්-සාහදූතා යයි නම් කෙළේ ය. එහෙත් ජාකොබ් ඊට ගල්යේද් කියා නම් කෙළේ ය.</verse>
				<verse number="48">ඉන්පසු ලාබන් කතා කොට, “මේ ගල් ගොඩ, අද ඔබත් මාත් අතර සාක්ෂියක් පිණිස වේ වා!”යි කී ය. එබැවින් ඊට ගල්යේද් යන නාමය දෙන ලදී.</verse>
				<verse number="49">තවදුරටත් ඔහු කතා කරමින්, “අප දදෙනො එකිනෙකාගෙන් වෙන් වූ කල සමිඳාණන් වහන්සේ ඔබත් මාත් දෙස සුපරීක්ෂාවෙන් බලා සිටින සේක් වා!”යි කීවේ ය. එබැවින් ඒ ගල් ගොඩට මිස්පා යන නාමය දෙන ලදී.</verse>
				<verse number="50">නැවත ඔහු කතා කොට, “ඔබ මාගේ දූවරුන්ට වෙනස්කම් කළොත්, ඔබ මාගේ දූවරුන්ට අමතර ව වෙන භාර්යාවන් පාවාගතහොත්, කිසිවෙකු අප සමඟ නොසිටියත් දෙවියන් වහන්සේ ඔබත් මාත් අතර සාක්ෂිකාරයාණන් බව සිහි කරන්න.</verse>
				<verse number="51">ඔබත් මාත් අතර ගොඩ ගැසූ මේ ගල් ගොඩත්, මේ සිහිවටනයත් දෙස හොඳින් බලන්න.</verse>
				<verse number="52">නපුරක් කරනු සඳහා මා මේ ගල් ගොඩ පසු කර ඔබ වෙත නො එන බවටත්, ඔබ ද මේ ගල් ගොඩ සහ සිහිවටනය පසු කර මා වෙත නො එන බවටත් මේ ගල් ගොඩ සාක්ෂියක් වේ වා! මේ සිහිවටනය සාක්ෂියක් වේ වා!</verse>
				<verse number="53">තවද, ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද, නාහෝර්ගේ දෙවියන් වහන්සේ ද අප අතර විනිශ්චය කරන සේක් වා!”යි කීවේ ය. ජාකොබ් ද තම පියා වන ඊසාක් භය භක්තිය වූ දෙවියන් වහන්සේගේ නාමයෙන් දිවුරුම් දුන්නේ ය.</verse>
				<verse number="54">ඉන්පසු ඔහු කන්ද මත යාග පූජාවක් පිදූ පසු, ආහාර අනුභව කිරීමට සිය පිරිස කැඳෙව්වේ ය. ඔව්හු ද ආහාර අනුභව කොට කන්ද මත මුළු රාත්‍රිය ම ගත කළහ.</verse>
				<verse number="55">ලාබන් ද උදය අලුයම නැඟිට තම මුණුබුරන් හා දූවරුන් සිඹගෙන ඔවුන්ට ආසිරි පතා, පිටත් වී තමාගේ ගෘහයට ආපසු ගියේය.</verse>
			</chapter>
			<chapter number="32">
				<verse number="1">ජාකොබ් තම ගමන යන විට, ඔහුට දෙවියන් වහන්සේගේ දූතයෝ මුණගැසුණාහ.</verse>
				<verse number="2">ඔහු ඔවුන් දුටු විට, “මේ දෙවියන් වහන්සේගේ සේනාව ය” කියා ඒ ස්ථානයට මහනායිම් යන නම තැබී ය.</verse>
				<verse number="3">තවද, ඔහු ඒදොම් දේශයේ සේයිර් රටේ තම සොහොයුරු වන ඒසව් වෙත තමාට පෙරටුවෙන් දූතයන් යැවී ය.</verse>
				<verse number="4">ඔහු ඔවුන්ට අණ කරමින්, “නුඹලා මාගේ ස්වාමීන් වන ඒසව්ට කතා කොට, ‘ඔබේ දාසයා වන ජාකොබ් මෙසේ කියන්නේ ය: මම ලාබන් සමඟ නැවතී, මෙතෙක් එහි සිටියෙමි.</verse>
				<verse number="5">තවද, ගවයන් ද කොටළුවන් ද එළු බැටළු පට්ටි ද දැසිදසුන් ද මට ඇත. ඔබ ඉදිරියෙහි ප්‍රසාදය ලබන පිණිස මම මාගේ ස්වාමීන් හට දැන්වීමට මෙම පණිවුඩය එවමි’යි සැළ කළ යුතු යැ”යි කීවේ ය.</verse>
				<verse number="6">දූතයෝ ජාකොබ් වෙත ආපසු විත්, “අපි ඔබ සොහොයුරු වන ඒසව් වෙත ගියෙමු, ඔහු ද ඔබ හමු වීමට එන්නේ ය. ඇරත් ඔහු සමඟ හාරසියයක පිරිසක් සිටිති”යි කී හ.</verse>
				<verse number="7">ජාකොබ් අතිශයින් බියවී කැළඹිණි. ඔහු තමා කැටුව සිටි පිරිස ද එළු බැටළු පට්ටි ද ගව පට්ටි ද ඔටුවන් ද කණ්ඩායම් දෙකකට බෙදා,</verse>
				<verse number="8">“ඒසව් යම් විටක එක කණ්ඩායමක් වෙත පැමිණ, ඊට පහර දුන්නොත්, ඉතිරි අනික් කණ්ඩායමට ගැළවී යත හැකි ය”යි සිතී ය.</verse>
				<verse number="9">ජාකොබ් තවදුරටත් කතා කරමින්, “මා පිය ආබ්‍රහම්ගේ දෙවිඳුනි, මා පිය වූ ඊසාක්ගේ දෙවිඳුනි, ‘ඔබේ දේශයට ද ඔබේ ඥාතීන් වෙත ද ආපසු යන්න, මම ඔබට යස ඉසුරු සලසන්නෙමි’යි මට වදාළ ස්වාමීනි,</verse>
				<verse number="10">ඔබ වහන්සේගේ දාසයා වන මා හට පෑවා වූ සියලු කරුණාව හා විශ්වාසවන්තකම ලැබීමට මා සුදුස්සෙක් නොවෙමි. මන්ද, මා මේ ජොර්දානෙන් එතෙර වූයේ මාගේ සැරයටියේ ආධාරයෙන් පමණ ය. එහෙත්, දැන් මා කණ්ඩායම් දෙකක් වී ඇත.</verse>
				<verse number="11">ඔබ වහන්සේ කරුණාකර, මාගේ සහෝදරයාගේ බලයෙන්, ඒසව්ගේ අතින්, මා මුදාගත මැනව. ඔහු අප වෙත පැමිණ මටත්, මවුවරුන්ටත්, දරුවන්ටත් පහර දෙති යි මම ඔහුට බිය වෙමි.</verse>
				<verse number="12">ඇරත්, ‘මම ඔබට ඇත්තෙන් ම ඉසුරු සලසන්නෙමි, ඔබේ පෙළපත ද මුහුදේ වැලි මෙන් ගණනින් විශාල වන ලෙස වැඩි කරන්නෙමි’ කියා ද ඔබ වහන්සේ වදාළ සේකැ”යි පැවසී ය.</verse>
				<verse number="13">ඔහු මෙසේ පවසා එම රාත්‍රිය එහි ගත කර, තම සොහොයුරු වන ඒසව් හට තමා ළඟ තිබුණු දෙයින් තෑග්ගක් ද තෝරා ගත්තේ ය. ඒ තෑග්ග නම්:</verse>
				<verse number="14">එළු දෙනුන් දෙසියයක් ද එළුවන් විස්සක් ද බැටළු දෙනුන් දෙසියයක් ද බැටළුවන් විස්සක් ද</verse>
				<verse number="15">කිරි දෙන ඔටු දෙනුන් තිහක් හා උන්ගේ වස්සන් ද එළ දෙනුන් සතළිසක් ද ගොනුන් දහයක් ද කොටළු දෙනුන් විස්සක් හා කොටළුවන් දහයක් ද වූ හ.</verse>
				<verse number="16">ඉන්පසු ඔහු මේ රංචු, වෙන්, වෙන් වශයෙන් තම මෙහෙකරුවන්ට බාර දී, “නුඹලා රංචුවෙන් රංචුව ඈත් කර මට පෙරටුව යන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="17">තවද, ඔහු, මුලින් ම ගිය මෙහෙකරු අමතා, “මාගේ සොහොයුරු ඒසව් ඔබ හමු වී, ‘ඔබ කාගේ කවු ද? ඔබ යන්නේ කොහේ ද? ඔබට පෙරටුව දක්කාගෙන යන මේ සත්තු කාගේ ද?’ කියා ඇසූ විට,</verse>
				<verse number="18">‘මේ සත්තු ඔබ සහෝදර ජාකොබ්ගේ ය, මා ස්වාමීන් වන ඒසව් වෙත ඔහු එවන තෑග්ගකි. ඇරත් ඔහු ද අප පසුපස්සේ එන්නේ ය’යි කියන්නැ”යි අණ කෙළේ ය.</verse>
				<verse number="19">මෙසේ ඔහු දෙවැනියාටත්, තුන්වැනියාටත්, සතුන් රංචු දක්කාගෙන ගිය සියල්ලන්ටත් අණ කරමින්, “නුඹලාට ඒසව් මුණගැසුණු විට ඔහුට මෙලෙස කියන්න.</verse>
				<verse number="20">ඇරත්, ‘ඔබේ සේවක ජාකොබ් අපට පිටුපසින් එන්නේ ය’ කියා ද පවසන්නැ”යි කීවේ ය. මන්ද, ‘මට පෙරටුව යවන තෑග්ගෙන් ඔහුගේ සිත දිනාගත් පසු මට ඔහු මුණගැසෙන්න හැකි වනු ඇතැ යි ද, එවිට, ඔහු මා පිළිගන්නේ ය’යි ද ඔහු සිතී ය.</verse>
				<verse number="21">මෙලෙස ඔහු තමාට පෙරටුව තෑගි හැරිය නමුත් ඔහු ඒ රාත්‍රිය කඳවුරෙහි ගත කෙළේ ය.</verse>
				<verse number="22">ඒ රාත්‍රියේ ඔහු නැඟිට, තමාගේ භාර්යාවන් දෙදෙන ද සේවිකාවන් දෙදෙන ද පුතුන් එකොළොස්දෙන ද රැගෙන ජබ්බොක් නම් තොටුපොළෙන් එගොඩ විය.</verse>
				<verse number="23">ඔහු ඔවුන් රැගෙන ගඟින් එගොඩ කළ පසු, තමා සතු දේ ද එතෙරට යැවී ය.</verse>
				<verse number="24">එහෙත් ජාකොබ් තනි ව සිටියේ ය. එවිට එක්තරා මිනිසෙක්, පහන් වන තුරු ඔහු සමඟ පොරබැදී ය.</verse>
				<verse number="25">ඒ තැනැත්තා ද ජාකොබ්ගෙන් තමාට ජය නොලැබෙන බව දුටු විට, ඔහුගේ කලවා සන්ධියට පහරක් ගැසී ය. එවිට ඔහුගේ කලවා සන්ධිය විසන්ධි විය.</verse>
				<verse number="26">ඒ තැනැත්තා ද, “පහන් වේගන එන බැවින් මට යන්න හරින්නැ”යි කී විට ජාකොබ්, “ඔබ මට ආශීර්වාද කළොත් මිස මම ඔබට යන්න නොහරින්නෙමි”යි උත්තර දුනි.</verse>
				<verse number="27">එවිට ඒ තැනැත්තා, “ඔබේ නම කුමක් දැ”යි ඇසූ විට ඔහු ද, “ජාකොබ්” යයි කීයෙන්,</verse>
				<verse number="28">“මින්මතු ඔබ ජාකොබ් නොවනු ඇත. ඔබ දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයා සමඟ පොරබදා ජයගත් බැවින් ඔබේ නම ඉශ්රායෙල් වන්නේ ය”යි කී ය.</verse>
				<verse number="29">ජාකොබ් කතා කොට, “කරුණාකර ඔබේ නම ද මට කියන්නැ”යි ඉල්ලී ය. එවිට ඔහු, “ඔබ, මාගේ නම අසන්නේ මන්දැ”යි කියා ජාකොබ්ට එහි දී ආශීර්වාද කෙළේ ය.</verse>
				<verse number="30">“මා දෙවියන් වහන්සේ මුහුණට මුහුණ ලා දුටු පසුත් මාගේ ජීවිතය තවමත් ආරක්ෂා වී ඇත” කියා ජාකොබ් එම ස්ථානයට පෙනුයෙල් යයි නම තැබී ය.</verse>
				<verse number="31">ඔහු ද පෙනුයෙල් පසු කර යද්දී, ඉර උදාවිය. තමාගේ කලවයේ වේදනාව නිසා ඔහු කොරගසමින් ගියේය.</verse>
				<verse number="32">මේ සිද්ධිය නිසා ඉශ්රායෙල් ජනතාව කලවා සන්ධිය මත වූ මස් ගොබය අද දක්වා අනුභව නොකරති. ඒ මන්ද, ජාකොබ් පහර ලද්දේ කලවයේ එම සන්ධියට බැවිනි.</verse>
			</chapter>
			<chapter number="33">
				<verse number="1">ජාකොබ් නෙත් ඔසවා බැලූ විට, පුදුමයකි, ඒසව් ද ඔහු සමඟ හාරසියයක පිරිසක් ද එනු දිටී ය. එවිට ඔහු ලෙයා, රාකෙල් සහ සේවිකාවන් දෙදෙන අතර දරුවන් බෙදා දී,</verse>
				<verse number="2">සේවිකාවන් සහ ඔවුන්ගේ දරුවන් ඉස්සරහින් සිටෙව්වේ ය. ඔවුන්ට පිටුපසින් ලෙයා සහ ඇගේ දරුවන් ද ඔවුන්ටත් පිටුපසින් රාකෙල් සහ ජෝසෙප් ද සිටෙව්වේ ය.</verse>
				<verse number="3">ජාකොබ් ද ඔවුන්ට පෙරටුව ගොස්, තම සොහොයුරා වෙත පැමිණෙන තෙක් සත් වරක් බිමට නැමී වැන්දේ ය.</verse>
				<verse number="4">එවිට ඒසව් ඔහු හමුවීමට දිව ගොස් ඔහු බදාගෙන, ඔහුගේ ගෙල වැළඳගෙන ඔහු සිඹගත්තේ ය. පසුව ඔව්හු අඬන්නට වූ හ.</verse>
				<verse number="5">ඒසව් නෙත් ඔසවා බැලූ විට, ස්ත්‍රීන් හා දරුවන් දැක, “ඔබ සමඟ සිටින මේ අය කාගේ දැ”යි ඇසූ විට, ජාකොබ් පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේ ඔබේ දාසයා හට කරුණාව පා දුන් දරුවෝ ය”යි කී ය.</verse>
				<verse number="6">එවිට සේවිකාවෝ ද ඔවුන්ගේ දරුවෝ ද ළඟට පැමිණ, ආචාර කළහ.</verse>
				<verse number="7">ලෙයා තම දරුවන් සමඟ පැමිණ ආචාර කළ පසු ජෝසෙප් සහ රාකෙල් ද ළඟට පැමිණ ආචාර කළහ.</verse>
				<verse number="8">එවිට ඒසව් ජාකොබ්ට කතා කොට, “මට හමු වූ මේ සතුන් සියල්ලන් ම කුමක් පිණිස දැ”යි ඇසූ විට, “මාගේ ස්වාමීන් ඉදිරියෙහි අනුග්‍රහය ලැබීම පිණිස යැ”යි ඔහු උත්තර දුනි.</verse>
				<verse number="9">එකල ඒසව් කතා කොට, “මා සොහොයුර, මට උවමනා තරම් ඇත. ඔබට අයිති දේ ඔබ ම තබා ගන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="10">එවිට ජාකොබ් ඔහුට උත්තර දෙමින්, “එසේ නො වේ වා, කරුණාකර ඔබ ඉදිරියෙහි මම ඔබේ ප්‍රසාදය ලදිම් නම්, මා අතින් මාගේ තෑග්ග පිළිගන්න. ඔබ මා සාදරයෙන් පිළිගන්නෙහි නම්, මට ඔබේ මුහුණ දැකීම හරියට දෙවියන් වහන්සේගේ මුහුණ දැකීම හා සමාන ය.</verse>
				<verse number="11">එබැවින්, කරුණාකර ඔබ වෙත ගෙනා මාගේ තිළිණය පිළිගන්න. මන්ද, දෙවියන් වහන්සේ මට කරුණා පෑ බැවින් මට උවමනා තරම් ඇතැ”යි කියා ඔහුට පෙරැත්ත කළෙන් ඒසව් එය බාරගත්තේ ය.</verse>
				<verse number="12">පසුව ඒසව්, “අපි ගමනට පිටත් ව යමු. මම ඔබට පෙරටුව යන්නෙමි”යි කී විට,</verse>
				<verse number="13">ජාකොබ් ද පිළිතුරු දෙමින්, “දරුවන් සුකුමාර බවත්, පැටියන් සහිත බැටළු පට්ටි හා ගව පට්ටි මට ඇති බවත් ස්වාමීන්ට පෙනේ. එක දවසක් වත්, මිනිසුන්, පමණට වඩා ඉක්මන් කර සතුන් දැක්කුවොත් මුළු රැළ මැරී යනු ඇත.</verse>
				<verse number="14">කරුණාකර, මාගේ ස්වාමීහු ඔහුගේ දාසයාට පෙරටුව යෙත් වා. මට ඉස්සරහින් යන ගවයන්ට හා දරුවන්ට යත හැකි ප්‍රමාණයට, සේයිර්හි මාගේ ස්වාමීන් වෙත පැමිණෙන තෙක් හෙමින් හෙමින් ගමන් කර මම එන්නෙමි”යි කීවේ ය.</verse>
				<verse number="15">එවිට ඒසව් කතා කොට, “එසේ නම් මා සමඟ සිටින පිරිසෙන් සමහර දෙනෙකු ඔබ සමඟ නවතාලමි”යි කී විට ජාකොබ් ද, “එවැන්නක් කුමට ද? මට උවමනා මා ස්වාමීන්ගේ ප්‍රසාදය පමණකි”යි උත්තර දුනි.</verse>
				<verse number="16">ඉන්පසු එදින ඒසව් සේයිර් බලා ආපසු ගියේය.</verse>
				<verse number="17">එහෙත් ජාකොබ් සුක්කොත් දක්වා ගොස්, තමා ම ගෙයක් ඉදි කොට, සිය ගවයන් සඳහා මඩු තැනී ය. එබැවින් එම ස්ථානයට සුක්කොත් යන නම තබන ලදී.</verse>
				<verse number="18">මෙලෙස ජාකොබ් මෙසොපොතේමියාවේ සිට ආපසු අවුත් කානාන් දේශයේ ෂෙකෙම් නුවරට සුවෙන් සැපත් ව, නුවර ඉදිරියෙහි සිය කඳවුර බැඳී ය.</verse>
				<verse number="19">තවද ඔහු ෂෙකෙම්ගේ පිය වූ හාමොර්ගේ පුත්‍රයන්ගෙන්, සිය කඳවුර පිහිටෙවූ බිම් කැබැල්ල රිදී කාසි සියයක් ගෙවා මිලට ගත්තේ ය.</verse>
				<verse number="20">එහි ඔහු පූජාසනයක් ඉදි කර, ඊට ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේ යන අර්ථය ඇති ‘එල්-එලෝහේ-ඉශ්රායෙල්’ යන නාමය තැබී ය.</verse>
			</chapter>
			<chapter number="34">
				<verse number="1">ජාකොබ්ට දාව ලෙයා ලැබූ දුව වන දීනා, දේශයේ කාන්තාවන් හමුවීමට නික්ම ගියා ය.</verse>
				<verse number="2">එවිට දේශයේ අධිපති වූ, හිවීය ජාතික හාමොර්ගේ පුත්, ෂෙකෙම් ඈ දැක, ඈ පැහැරගෙන ගොස් ඈ සමඟ සැතපී, ඈ දූෂණය කෙළේ ය.</verse>
				<verse number="3">ඔහුගේ සිත ද ජාකොබ්ගේ දුව වන දීනා කෙරෙහි තදින් ඇදී ගියෙන්, ඔහු තරුණියට පෙම් කර, ඈ අස්වැසී ය.</verse>
				<verse number="4">ෂෙකෙම් සිය පියා වන හාමොර්ට කතා කොට, “මේ තරුණිය මට බිරිඳ කොට ලබා දෙන්නැ”යි ඉල්ලී ය.</verse>
				<verse number="5">ඔහු තම දුව වන දීනා දූෂණය කළ බව ජාකොබ් දැනගත්තේ ය. එකල ඔහුගේ පුතුන්, ඔහුගේ ගවයන් සමඟ තණ පිට්ටනියේ සිටිය බැවින්, ඔවුන් එන තෙක් ජාකොබ් නිහඬ ව සිටියේ ය.</verse>
				<verse number="6">ෂෙකෙම්ගේ පියා වන හාමොර් ද ජාකොබ් සමඟ කතා කිරීමට ඔහු වෙත පිටත් ව ගියේය.</verse>
				<verse number="7">ජාකොබ්ගේ පුත්‍රයන් තණ පිට්ටනියෙන් පැමිණි පසු ඔව්හු මෙය අසා, කම්පා වී කෝපාවිෂ්ට වූ හ. මන්ද, ෂෙකෙම්, ජාකොබ්ගේ දුව දූෂණය කිරීමෙන් ඉශ්රායෙල් ජනයා අතර නොකටයුතු සැහැසිකමක් කළ හෙයිනි.</verse>
				<verse number="8">හාමොර් ද ඔවුන් සමඟ කතා කරමින්, “මාගේ පුත්‍ර ෂෙකෙම්, ඔබේ දියණියට පෙම් බැඳ සිටියි. ඇය ඔහුට භාර්යාව මෙන් පාවා දෙන ලෙස මම අයැද සිටිමි.</verse>
				<verse number="9">ඇරත්, ඔබ අප සමඟ විවාහ ගිවිසුම් කරගන්න. ඔබේ දූවරුන් අපට දී, අපේ දූවරුන් ඔබ ගන්න.</verse>
				<verse number="10">මෙලෙස ඔබට අප සමඟ වාසය කළ හැක. රට ද ඔබ ඉදිරියෙහි ඇත. එහි වාසය කොට, නිදහසේ වෙළහෙළඳාම් කර වතුපිටි අයිති කරගන්නැ”යි කී ය.</verse>
				<verse number="11">එවිට ෂෙකෙම් ඇගේ පියාට හා ඇගේ සොහොයුරන්ට කතා කොට, “ඔබ හැම මට කරුණාව පෙන්වනු මැනව! ඔබ මාගෙන් යමක් ඉල්ලන්නහු ද, එය මම දෙන්නෙමි.</verse>
				<verse number="12">තරුණිය මට භාර්යාව කොට දෙන්නහු නම්, ඉතා විශාල දායාදයක් හා තෑගි බෝග මාගෙන් ඉල්ලන්න, ඔබ මාගෙන් ඉල්ලන ඕනෑ ම දෙයක් මම ඔබට දෙන්නෙමි”යි කීවේ ය.</verse>
				<verse number="13">ෂෙකෙම්, ඔවුන්ගේ සහෝදරී වන දීනා දූෂණය කළ බැවින් ජාකොබ්ගේ පුත්‍රයෝ ද ෂෙකෙම් සහ ඔහුගේ පියා වන හාමොර්ට කපටි ලෙස උත්තර දුන්හ.</verse>
				<verse number="14">“අපට මෙබඳු දෙයක් කළ නොහැක. අචර්මඡේදිත කෙනෙකුට අපේ සහෝදරී දීම අපට නින්දාවකි.</verse>
				<verse number="15">එහෙත් ඔබ අතර සෑම පිරිමියෙක් ම චර්මඡේදිත වී අප හා සමාන වන්නහු නම්, ඔබ කියන දේට අපට එකඟ විය හැක.</verse>
				<verse number="16">එවිට අපේ දූවරුන් දී ඔබේ දූවරුන් අපි ගන්නෙමු. ඇරත් අපි ඔබ සමඟ වාසය කරමින් එක ජනතාවක් වන්නෙමු.</verse>
				<verse number="17">එහෙත් ඔබ චර්මඡේදිත වීම ගැන අපට ඇහුම්කන් නොදෙන්නහු නම්, අපි අපේ දුව රැගෙන යන්නෙමු”යි කීවෝ ය.</verse>
				<verse number="18">ඔවුන්ගේ කීමට හාමොර් සහ ඔහු පුත් ෂෙකෙම් කැමැති වූ හ.</verse>
				<verse number="19">තරුණයා ද ජාකොබ්ගේ දුවට ඇලුම් ව සිටි බැවින්, ඔහු ද යෝජිත දේ කිරීමට පමා නො වී ය. තවද, ඔහු තම පියාගේ ගෘහයේ ඉතා ම වැදගත් තැනැත්තා විය.</verse>
				<verse number="20">එබැවින් හාමොර් සහ ඔහු පුත් ෂෙකෙම්, නුවර වාසල් දොරටුවට අවුත්, නුවර වැසියන් සමඟ කතා කරමින්,</verse>
				<verse number="21">“මේ මිනිසුන් අපට හිතවත් ය. එබැවින් රටෙහි පදිංචි වී, එහි නිදහස් ව යන්න එන්න ඔවුන්ට ඉඩ හරිමු. බලන්න, රටෙහි ඔවුන්ටත් සෑහෙන තරම් ඉඩ ඇත. අපි ඔවුන්ගේ දූවරුන් භාර්යාවන් කොට ගෙන, අපේ දූවරුන් ඔවුන්ට දෙමු.</verse>
				<verse number="22">එහෙත්, අප සමඟ එකට වාසය කර එක සෙනඟක් වීමට ඒ මිනිසුන් කැමැති වන්නේ, අප අතර සිටින සෑම පිරිමියෙකු ම, ඔවුන් චර්මඡේදිත වී ඇති ලෙස, චර්මඡේදිත වුවහොත් පමණ ය.</verse>
				<verse number="23">ඔවුන්ගේ ගව පට්ටි ද ඔවුන්ගේ වස්තුව ද ඔවුන්ගේ සියලු සතුන් ද අපේ නොවන්නේ ද? එබැවින් අපි ඔවුන් හා එකඟ වෙමු. එවිට ඔව්හු අප සමඟ වාසය කරන්නෝ ය”යි කී හ.</verse>
				<verse number="24">වාසල් දොරටුවෙන් පිට වූ සියල්ලෝ ම හාමොර්ට සහ ඔහු පුත් ෂෙකෙම්ට ඇහුම්කන් දුන්හ. මෙලෙස වාසල් දොරටුවෙන් පිට වූ සියලු ම පිරිමි චර්මඡේදනය කරනු ලැබූ හ.</verse>
				<verse number="25">තුන් දිනකට පසු, ඔවුන් තවමත් තුවාළවලින් වේදනා විඳින කල්හි, ජාකොබ්ගේ පුතුන් දෙදෙනෙකු වන, සිමියොන් සහ ලෙවී යන දීනාගේ සහෝදරයෝ, තම කඩු රැගෙන, රහසින් නුවරට වැද, සියලු පිරිමින් මරාදැමූ හ.</verse>
				<verse number="26">තවද, ඔව්හු හාමොර් සහ ඔහු පුත් ෂෙකෙම් ද කඩු පහරින් මරා, ෂෙකෙම්ගේ ගෙයින් දීනා රැගෙන පිට වී ගියහ.</verse>
				<verse number="27">ජාකොබ්ගේ පුත්‍රයෝ ද තුවාළ ලැබූවන් පිටට පැන පහර දී නුවර කොල්ලකෑ හ. මන්ද, ඔහු තම සොහොයුරී දූෂණය කළ හෙයිනි.</verse>
				<verse number="28">ඔව්හු ඔවුන්ගේ එළු බැටළු පට්ටි ද ගව පට්ටි ද කොටළුවන් ද නුවර හා පිට්ටනියේ තැබූ දේ ද</verse>
				<verse number="29">ඔවුන්ගේ වස්තුව ද ගත්තෝ ය. ඔවුන්ගේ සියලු ම කුඩා දරුවන් ද භාර්යාවන් ද අල්ලාගෙන, ඔවුන්ගේ ගෙවල තිබූ සියල්ල ද කොල්ලකෑ හ.</verse>
				<verse number="30">එවිට ජාකොබ් සිමියොන්ට සහ ලෙවීට කතා කොට, “මේ දේශයේ වැසියන් වන කානානිවරුන් සහ පෙරිස්සිවරුන් අතර, මා දුගඳක් මෙන් පිළිකුලට ලක් කිරීමෙන් නුඹලා මට ලොකු අවැඩක් කර තිබේ. මට ඇත්තේ ගණනින් සුළු පිරිසකි. එබැවින් ඔවුන් මට විරුද්ධ ව එක පෙරමුණක් ගෙන, මා මරාදමනු ඇත. මෙසේ මාගේ මුළු පවුලත් මමත් විනාශ වී යන්නෙමු”යි කී ය.</verse>
				<verse number="31">එවිට ඔව්හු උත්තර දෙමින්, “ඔහු අපේ සහෝදරිය වෙසඟනක ලෙස සැලකීම හරි දැ”යි ඇසූ හ.</verse>
			</chapter>
			<chapter number="35">
				<verse number="1">දෙවියන් වහන්සේ ජාකොබ්ට කතා කොට, “නැඟිට, බෙතෙල් කරා ගොස්, එහි පදිංචි වන්න, නුඹේ සොහොයුරු ඒසව්ගෙන් නුඹ පලායද්දී නුඹට දර්ශනය වූ දෙවියන් වහන්සේට පූජාසනයක් එහි සාදන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="2">එවිට ජාකොබ් තම පවුලේ වැසියන් හා තමා සමඟ සිටි සියල්ලන් අමතා, “ඔබ ළඟ ඇති විදේශීය දේවතා රූප ඉවත් කොට, පවිත්‍ර වීමේ වත්පිළිවෙත් කර, ඔබේ ඇඳුම් මාරු කරගන්න.</verse>
				<verse number="3">එවිට අපි නැඟිට බෙතෙල් කරා යමු, මාගේ ආපදාවේ දවසේ දී මට ඇහුම්කන් දුන්, මා ගිය ගිය තැන මා සමඟ වැඩ සිටි දෙවියන් වහන්සේට මම එහි දී පූජාසනයක් සාදන්නෙමි”යි කීවේ ය.</verse>
				<verse number="4">ඔවුන් ද, තමන් ළඟ තිබූ සියලු ම විදේශීය දේවතා රූප හා ඔවුන් පැළඳ හුන් කර්ණාභරණ ද ජාකොබ්ට දුන් විට ඔහු ෂෙකෙම් නම් ස්ථානය අසල තිබූ ආලෝන ගස යට ඒවා සැඟවී ය.</verse>
				<verse number="5">ඔව්හු යන්න ගියෝ ය. එහෙත් ඔවුන් අවට තිබූ නගරවල වැසියන් බියෙන් තැතිගත් බැවින් කිසිවෙක් ජාකොබ්ගේ පුත්‍රයන් ලුහුබැඳ නොගියෝ ය.</verse>
				<verse number="6">මෙසේ ජාකොබ් ද ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද කානාන් දේශයේ ලූස් හෙවත් බෙතෙල් නම් ස්ථානයට පැමිණියෝ ය.</verse>
				<verse number="7">එහි දී ඔහු පූජාසනයක් තනා, එම ස්ථානයට එල්-බෙතෙල් යන නම තැබී ය. මන්ද, ඔහු සිය සොහොයුරා වෙතින් පලායන විට, එහි දී දෙවියන් වහන්සේ ඔහුට දර්ශනය වූ බැවිනි.</verse>
				<verse number="8">තවද, රෙබෙකාගේ කිරි මව වූ දෙබොරා මළ බැවින්, ඇය බෙතෙල් නම් ස්ථානයට පහළින් ආලෝන ගස යට භූමදාන කරනු ලැබුවා ය. එබැවින් ඊට අල්ලොන්-බාකුත් යන නම දෙන ලද්දේය.</verse>
				<verse number="9">ජාකොබ් මෙසොපොතේමියාවෙන් මෙසේ හැරී එන විට දෙවියන් වහන්සේ නැවතත් ඔහුට දර්ශනය වී ආශීර්වාද කළ සේක.</verse>
				<verse number="10">උන් වහන්සේ ඔහුට කතා කොට, “නුඹේ නම ජාකොබ් ය. එහෙත් මින්පසු නුඹේ නම ජාකොබ් යයි හඳුන්වනු නොලැබ, නුඹේ නම ඉශ්රායෙල් වන්නේ ය”යි වදාළ නිසා ඔහුට ඉශ්රායෙල් යන නම තබන ලදී.</verse>
				<verse number="11">තවදුරටත් දෙවියන් වහන්සේ ඔහු අමතමින්, “මම සියලු බලැති දෙවියන් වහන්සේ වෙමි. නුඹ සමෘද්ධ වී, වර්ධනය වන්න. නුඹෙන් ජාතියක් හා ජාතීන් සමුදායක් බිහි වන්නෝ ය. නුඹට දාව රජවරු පවා උපදින්නෝ ය.</verse>
				<verse number="12">මම ආබ්‍රහම්ට සහ ඊසාක්ට දුන් දේශය නුඹට දෙන්නෙමි; නුඹෙන් පසුව නුඹේ පෙළපතට එය දෙන්නෙමි”යි වදාරා</verse>
				<verse number="13">උන් වහන්සේ ඔහු සමඟ කතා කළ ස්ථානයේ දී, ඔහු වෙතින් ඉවත් ව ගිය සේක.</verse>
				<verse number="14">ඉන්පසු ජාකොබ් උන් වහන්සේ සමඟ කතා කළ ස්ථානයෙහි සිහිවටනයක්, එනම්, ගලින් කළ සිහිවටනයක් ඉදිකොට, එය මත පානීය පූජාව ඔප්පු කොට තෙල් ද වත් කෙළේ ය.</verse>
				<verse number="15">තවද, දෙවියන් වහන්සේ තමා සමඟ කතා කළ ස්ථානයට ඔහු බෙතෙල් යන නම තැබී ය.</verse>
				<verse number="16">ඔව්හු බෙතෙල් සිට නික්ම ගියහ. එහෙත් ඔවුන් එප්‍රාත් නම් ස්ථානයට පැමිණෙන්නට මඳක් දුර තිබිය දී, රාකෙල්ට ප්‍රසව වේදනා ඇති වී, එය උග්‍ර විය.</verse>
				<verse number="17">මෙලෙස ඈ උග්‍ර ලෙස ප්‍රසව වේදනා විඳින විට, වින්නඹු මාතාව ඈට කතා කොට, “බිය නොවන්න, ඔබට ලැබෙන්නේ තවත් පුත්‍රයෙක් ය”යි කීවා ය.</verse>
				<verse number="18">එහෙත්, රාකෙල් මළා ය. ඈ පණ අදින විට ඔහුට බෙන්-ඕනි යන නම තැබූ නමුත් ඔහුගේ පියා ඔහුට බෙන්ජමින් කියා නම් කෙළේ ය.</verse>
				<verse number="19">මෙසේ රාකෙල් මළ පසු, එප්‍රාත් හෙවත් බෙත්ලෙහෙමට යන මාර්ගයෙහි ඈ භූමදාන කරනු ලැබුවා ය.</verse>
				<verse number="20">ජාකොබ් ද ඇගේ සොහොන පිට සිහිවටනයක් ඉදි කෙළේ ය. අද දක්වා ම රාකෙල්ගේ සොහොන මත සිහිවටනය ඇත.</verse>
				<verse number="21">ඉශ්රායෙල් ගමන් කොට, මිග්දාල්-එදෙර් නම් ස්ථානයට එහා, තම කඳවුර පිහිටුවාගත්තේ ය.</verse>
				<verse number="22">තවද, ඉශ්රායෙල් ඒ රටේ පදිංචි ව සිටිය දී රූබන් ගොස්, තම පියාගේ අනියම් බිරිඳ වන බිල්හා සමඟ සැතපුණේ ය. ඉශ්රායෙල්ට ද එපවත් සැළ විය. ජාකොබ්ට පුත්‍රයෝ දොළොස්දෙනෙක් සිටියහ.</verse>
				<verse number="23">ලෙයාගේ පුත්‍රයෝ නම්, ජාකොබ්ගේ කුලුඳුලා වන රූබන්, සිමියොන්, ලෙවී, ජුදා, ඉස්සාකර් සහ සාබුලොන් ය.</verse>
				<verse number="24">රාකෙල්ගේ පුත්‍රයෝ නම් ජෝසෙප් සහ බෙන්ජමින් ය.</verse>
				<verse number="25">රාකෙල්ගේ සේවිකාව වන බිල්හාගේ පුත්‍රයෝ නම් දාන් සහ නප්තලී ය.</verse>
				<verse number="26">ලෙයාගේ සේවිකාව වන ශිල්පාගේ පුත්‍රයෝ නම් ගාද් සහ ආෂෙර් ය. මෙසොපොතේමියාවේ දී ජාකොබ්ට දාව උපන් ඔහුගේ පුත්‍රයෝ මොවුහු ය.</verse>
				<verse number="27">ජාකොබ් ද ආබ්‍රහම් සහ ඊසාක් තාවකාලික ව පදිංචි වූ ආලෝන අරඹ හෙවත් කිර්යත්-අර්බා හෙවත් හෙබ්‍රොන් නම් ස්ථානයේ ඊසාක් වෙත පැමිණියේ ය.</verse>
				<verse number="28">ඊසාක්ගේ වයස අවුරුදු එකසිය අසූවක් වූයෙන්</verse>
				<verse number="29">ඔහු දිගායු වළඳා පූර්ණ මහලු වයසේ දී මියගොස් තම මුතුන්මිත්තන් හා එක්විය. ඔහුගේ පුත්‍රයන් වූ ඒසව් සහ ජාකොබ් ඔහු භූමදාන කළහ.</verse>
			</chapter>
			<chapter number="36">
				<verse number="1">ඒසව් හෙවත් ඒදොම්ගේ පෙළපත මෙසේ ය.</verse>
				<verse number="2">ඔහු තම භාර්යාවන් සරණ පාවාගත්තේ කානානිය ස්ත්‍රීන් අතුරින් ය. මොවුහු නම් හිත්තීය ජාතික එලොන්ගේ දුව වූ ආදා, හිවීය ජාතික ශිබෙයොන්ගේ දුව වූ අනාගේ දුව වන ඔහොලිබාමා</verse>
				<verse number="3">සහ නෙබායෝත්ගේ සහෝදරී වූ ද, ඉෂ්මායෙල්ගේ දුව වූ ද බාසෙමත් ය.</verse>
				<verse number="4">ඒසව්ට දාව, ආදාගෙන් එලිපස් ද, බාසෙමත්ගෙන් රෙවුයෙල් ද,</verse>
				<verse number="5">ඔහොලිබාමාගෙන් ජෙවුෂ් ද, ජලාම් ද, කෝරා ද උපන්හ. කානාන් දේශයේ දී ඒසව්ට දාව උපන් ඔහුගේ පුත්‍රයෝ මොවුහු ය.</verse>
				<verse number="6">ඒසව් තම භාර්යාවන් ද පුත්‍රයන් ද දූවරුන් ද ගෙදර වැසි සියල්ලන් ද ගවයන් ද සියලු මෘගයන් ද කානාන් දේශයේ දී තමන් උපයාගත් සියලු වස්තුව ද රැගෙන, තම සොහොයුරු වන ජාකොබ් වෙතින් අන් රටකට ගියේය.</verse>
				<verse number="7">මන්ද, ඔවුන්ට එකට පදිංචි වීමට නොහැකි තරමට ඔවුන්ගේ ධනය විශාල විය. ඇරත් ඔවුන් විදේශිකයන් මෙන් විසූ රටෙහි, ඔවුන්ගේ ගොවිපළවල් නිසා ඔවුන්ට ඉඩ මදි විය.</verse>
				<verse number="8">මෙලෙස ඒසව් හෙවත් ඒදොම් සේයිර් කන්දෙහි පදිංචි විය.</verse>
				<verse number="9">සේයිර් කන්දෙහි විසූ ඒදොම්වරුන්ගේ පියා වන ඒසව්ගේ පෙළපත හා</verse>
				<verse number="10">ඔහුගේ පුත්‍රයන්ගේ නාමාවලිය මෙය වේ: ඒසව්ගේ භාර්යාව වූ ආදාගේ පුත්‍ර එලිපස්, බාසෙමත්ගේ පුත්‍ර රෙවුයෙල්,</verse>
				<verse number="11">එලිපස්ගේ පුත්‍රයන් වන තේමාන්, ඕමාර්, ශෙපෝ, ගයිතාම් සහ කෙනස් ය.</verse>
				<verse number="12">තවද, තිම්නා ඒසව්ගේ පුත්‍ර එලිපස්ගේ අනියම් බිරිඳ වූවා ය. ඇයගෙන් එලිපස්ට දාව අමලෙක් උපන්නේ ය. ඒසව්ගේ භාර්යාව වූ ආදාගේ පුත්‍රයෝ මොවුහු ය.</verse>
				<verse number="13">රෙවුයෙල්ගේ පුත්‍රයෝ නම් නහත්, සෙරා, ෂම්මා සහ මිස්සා ය. මොවුහු ඒසව්ගේ භාර්යාව වූ බාසෙමත්ගේ මුණුබුරෝ ය.</verse>
				<verse number="14">ශිබෙයොන්ගේ පුත්‍රයා වන අනාගේ දුව වූ ඒසව්ගේ භාර්යාව වූ ඔහොලිබාමාගේ පුත්‍රයෝ නම්, ඇයගෙන් ඔහුට දාව උපන් ජෙවුෂ්, ජලාම් සහ කෝරා ය.</verse>
				<verse number="15">ඒසව්ගේ පෙළපතේ අධිපතීහු නම් ඔහුගේ කුලුඳුල් පුත් එලිපස්ගේ පුත්‍රයෝ ය. මොවුහු නම් අධිපතීන් වන තේමාන්, ඕමාර්, ශෙපෝ, කෙනස්,</verse>
				<verse number="16">කෝරා, ගයිතාම් සහ අමලෙක් ය. ඒදොම් දේශයේ එලිපස්ගෙන් පැවත ආ අධිපතීහු මොවුහු ය. තවද මොවුහු ආදාගේ පුත්‍රයෝ ය.</verse>
				<verse number="17">ඒසව්ගේ පුත්, රෙවුයෙල්ගේ පුත්‍රයෝ නම් අධිපතීන් වන නහත්, සෙරා, ෂම්මා සහ මිස්සා ය. ඒදොම් දේශයේ රෙවුයෙල්ගෙන් පැවත ආ මේ අධිපතීහු ඒසව්ගේ භාර්යාව වන බාසෙමත්ගේ පුත්‍රයෝ ය.</verse>
				<verse number="18">ඒසව්ගේ භාර්යාව වූ ඔහොලිබාමාගේ පුත්‍රයෝ නම් අධිපතීන් වන ජෙවුෂ්, ජලාම් සහ කෝරා ය. මොවුහු අනාගේ දුව ද, ඒසව්ගේ භාර්යාව ද වූ ඔහොලිබාමාගෙන් පැවත ආ අධිපතියෝ ය.</verse>
				<verse number="19">ඒදොම් හෙවත් ඒසව්ගේ පුත්‍රයන් සහ ඔවුන්ගේ අධිපතීහු මොවුහු ය.</verse>
				<verse number="20">ඒ දේශයෙහි විසූ හෝරිය ජාතික සේයිර්ගේ පුත්‍රයෝ නම් ලෝතාන්, ෂෝබාල්, ශිබෙයොන්, අනා,</verse>
				<verse number="21">දීෂොන්, එශෙර් සහ දීෂාන් ය. මොවුහු ඒදොම් දේශයෙහි වූ සේයිර්ගේ පෙළපත වන හෝරිවරුන්ගේ අධිපතීහු ය.</verse>
				<verse number="22">ලෝතාන්ගේ දරුවෝ නම් හෝරි සහ හේමාම් ය. ලෝතාන්ගේ සහෝදරී තිම්නා ය.</verse>
				<verse number="23">ෂෝබාල්ගේ දරුවෝ නම් අල්වාන්, මානහත්, ඒබාල්, ෂෙපෝ සහ ඕනාම් ය.</verse>
				<verse number="24">ශිබෙයොන්ගේ දරුවෝ ආයා සහ අනා ය. තමාගේ පියා වූ ශිබෙයොන්ගේ කොටළුවන්ට පාළු තැන්නෙහි තණ කවමින් සිටිය දී උණු දිය උල්පත් සම්බ වූයේ මේ අනාට ය.</verse>
				<verse number="25">අනාගේ දරුවෝ නම් දීෂොන් සහ අනාගේ දුව වූ ඔහොලිබාමා ය.</verse>
				<verse number="26">දීෂොන්ගේ දරුවෝ නම් හෙම්දාන්, එෂ්බාන්, ඉත්රාන් සහ කෙරාන් ය.</verse>
				<verse number="27">එශෙර්ගේ දරුවෝ නම් බිල්හන්, සයවාන් සහ අකාන් ය.</verse>
				<verse number="28">දීෂාන්ගේ දරුවෝ ඌශ් සහ අරාන් ය.</verse>
				<verse number="29">හෝරිවරුන්ගෙන් පැවත ආ අධිපතීහු නම් ලෝතාන්, ෂෝබාල්, ශිබෙයොන්, අනා,</verse>
				<verse number="30">දීෂොන්, එශෙර් සහ දීෂාන් ය. මොවුහු සේයිර් දේශයෙහි තමන්ගේ ගෝත්‍ර අනුව හෝරිවරුන්ගේ අධිපතියෝ ය.</verse>
				<verse number="31">ඉශ්රායෙල්වරුන්ගේ රජෙකු එහි රජකම් කිරීමට පෙර ඒදොම් දේශයෙහි රජකම් කළ රජවරු මොවුහු ය.</verse>
				<verse number="32">බෙයෝර්ගේ පුත් බෙලා ඒදොම්හි රජකම් කෙළේ ය. ඔහුගේ නුවරේ නම දින්හාබා ය.</verse>
				<verse number="33">බෙලා මළ පසු, ඔහු වෙනුවට බොශ්රායේ ගෙරාගේ පුත්‍ර ජෝබාබ් රජකම් කෙළේ ය.</verse>
				<verse number="34">ජෝබාබ් මළ පසු ඔහු වෙනුවට තේමානිවරුන්ගේ දේශයේ හුෂාම් රජකම් කෙළේ ය.</verse>
				<verse number="35">හුෂාම් මළ පසු, ඔහු වෙනුවට මෝවබ් දේශයේ මිදියන්වරුන් පරාජය කළ බෙදද්ගේ පුත් හදද් රජකම් කෙළේ ය. ඔහුගේ නුවරේ නම අවිත් ය.</verse>
				<verse number="36">හදද් මළ පසු, ඔහු වෙනුවට මස්රේකාහි ෂම්ලා රජකම් කෙළේ ය.</verse>
				<verse number="37">ෂම්ලා මළ පසු, ඔහු වෙනුවට ගංගාව අසල රෙහොබොත්හි ෂාවුල් රජකම් කෙළේ ය.</verse>
				<verse number="38">ෂාවුල් මළ පසු, ඔහු වෙනුවට අක්බොර්ගේ පුත් බාල්-හනන් රජකම් කෙළේ ය.</verse>
				<verse number="39">අක්බොර්ගේ පුත්‍ර බාල්-හනන් මළ පසු, ඔහු වෙනුවට හදාර් රජකම් කෙළේ ය. ඔහුගේ නුවරේ නම පායු ය. ඔහුගේ භාර්යාවගේ නම මෙහෙතාබල් ය. ඈ මෙසාහබ්ගේ දුව වූ මත්රෙද්ගේ දූ ය.</verse>
				<verse number="40">තම තමන්ගේ පෙළපත හා තම තමන්ගේ පේරුව අනුව, ඒසව්ගෙන් පැවත ආ අධිපතීන්ගේ නාමාවලිය නම් තිම්නා, අල්වා ජෙතේත්,</verse>
				<verse number="41">අධිපති ඔහොලිබාමා, ඒලා, පීනොන්,</verse>
				<verse number="42">අධිපති කෙනස්, තොමාත්, මිබ්ශාර්,</verse>
				<verse number="43">අධිපති මග්දීයෙල් සහ ඊරාම් ය. මොවුහු, දේශයේ තමන්ට උරුම වූ වාසස්ථාන අනුව ඒදොම්හි අධිපතීහු ය. එනම්, ඒදොම්වරුන්ගේ පියා වන ඒසව්ගේ පෙළපත ය.</verse>
			</chapter>
			<chapter number="37">
				<verse number="1">තමාගේ පියා තාවකාලික ව නැවතී සිටි රට වන කානාන් දේශයේ ජාකොබ් පදිංචි විය.</verse>
				<verse number="2">ජාකොබ්ගේ පෙළපත් කතාව මේ ය. ජෝසෙප්ට වයස අවුරුදු දාහතක් වූ විට, ඔහු තම සහෝදරයන් සමඟ බැටළුවන්ට තණ කවමින් සිටියේ ය. ඔහු සිටියේ තම පියාගේ භාර්යාවන් වන බිල්හාගේ ද, ශිල්පාගේ ද පුත්‍රයන් සමඟ ය. ජෝසෙප් ඔවුන්ගේ නපුරු ක්‍රියා ගැන පියාට දැන්වුයේ ය.</verse>
				<verse number="3">ඉශ්රායෙල් තම දරුවන් සියල්ලන්ට ම වඩා ජෝසෙප්ට ප්‍රේම කෙළේ ය. මන්ද, ඔහු තම මහලු වියේ ලත් පුත්‍රයා බැවිනි. ඒ නිසා ඔහු ජෝසෙප්ට අත් ඇති, දිග විශේෂ ඇඳුමක් සාදා දුනි.</verse>
				<verse number="4">ඔවුන්ගේ පියා, ඔවුන් සියල්ලන්ට ම වඩා ජෝසෙප්ට ප්‍රේම කරන බව දැක ඔහුගේ සහෝදරයෝ ඔහුට වෛර කළහ. එබැවින් ඔහු සමඟ මිත්‍ර ලීලාවෙන් කතා කිරීමට ඔවුන්ට නොහැකි විය.</verse>
				<verse number="5">ජෝසෙප් සිහිනයක් දැක, තම සොහොයුරන්ට එය කීවේ ය. ඒ නිසා ඔව්හු ඔහුට වඩ වඩාත් වෛර කරන්නට වන්හ.</verse>
				<verse number="6">ඔහු ද ඔවුන්ට කතා කොට, “කරුණාකර, මා දුටු සිහිනයට ඇහුම්කන් දෙන්න.</verse>
				<verse number="7">මෙන්න, අපි කෙතෙහි ගොයම් මිටි බඳිමින් සිටියෙමු. එවිට, පුදුමයකි, මාගේ ගොයම් මිටිය නැඟිට කෙළින් සිටියේ ය. ඔබ හැමගේ ගොයම් මිටි, එය වටේට සිටගෙන, මාගේ ගොයම් මිටියට නැමී ආචාර කෙළේ ය”යි කීවේ ය.</verse>
				<verse number="8">එවිට ඔහුගේ සහෝදරයෝ, “ඇත්තට ම ඔබ අප කෙරෙහි රජකම් කරන්නට යන්නෙහි ද? සැබැවින් ම ඔබ අප කෙරෙහි අධිපති බලය පාන්න යන්නෙහි දැ”යි ඇසූ හ. එබැවින් ඔව්හු මේ සිහින නිසාත්, ඔහුගේ කියුම් නිසාත් ඔහුට තව තවත් වෛර කළහ.</verse>
				<verse number="9">තවද, ඔහු තවත් සිහිනයක් දැක, එය ද තම සොහොයුරන්ට දන්වමින්, “මේ අහන්න, මම තවත් සිහිනයක් දිටිමි. පුදුමයකි, ඉර, හඳ හා තාරකා එකොළහක් මට නැමී ආචාර කෙළේ ය”යි කී ය.</verse>
				<verse number="10">තවද, ජෝසෙප් තම පියාටත්, තම සහෝදරයන්ටත් එය දැන්වී ය. එවිට ඔහුගේ පියා ඔහුට බැණ වදිමින්, “නුඹ දුටු මේ සිහිනයේ තේරුම කුමක් ද? ඇත්තට ම, නුඹේ අම්මාත්, නුඹේ සහෝදරයෝත්, මමත් බිමට නැමී නුඹට ආචාර කරන්ට එන්නෙමු දැ”යි ඇසී ය.</verse>
				<verse number="11">ඔහුගේ සහෝදරයෝ ඔහුට ඊර්ෂ්‍යා කළහ. එහෙත් ඔහුගේ පියා, ඔහු කියූ කරුණ සිතේ තබාගත්තේ ය.</verse>
				<verse number="12">ඔහුගේ සහෝදරයෝ ද තම පියාගේ එළු බැටළු පට්ටි බලාගනු පිණිස ෂෙකෙම් නම් පෙදෙසට ගියහ.</verse>
				<verse number="13">එවිට ඉශ්රායෙල් ජෝසෙප්ට කතා කරමින්, “නුඹේ සහෝදරයන් ෂෙකෙම්හි එළු බැටළු පට්ටි බලාගන්නවා නොවේ ද? එන්න, මම නුඹ ඔවුන් වෙත යවමි”යි කී විට, ජෝසෙප් ද, “මම ලෑස්ති ය” කියා උත්තර දුනි.</verse>
				<verse number="14">ඔහුගේ පියා තවදුරටත් කතා කරමින්, “කරුණාකර, යන්න, නුඹේ සහෝදරයොත් එළු බැටළුවොත් සුව සේ සිටිත් දැ යි බලාගෙන ඇවිත් මට දන්වන්නැ”යි කී ය. මෙසේ කියා ඔහු හෙබ්‍රොන් නම් මිටියාවතින් ජෝසෙප් පිටත් කර හැරියේ ය. ජෝසෙප් ෂෙකෙම් පෙදෙසට පැමිණ, එහි තැනින් තැන යන විට,</verse>
				<verse number="15">එක්තරා මිනිසෙකුට ඔහු හමු වී, “ඔබ කුමක් සොයන්නෙහි දැ”යි ඒ මිනිසා ඔහුගෙන් විචාළේ ය.</verse>
				<verse number="16">ඔහු ද කතා කොට, “මම මාගේ සොහොයුරන් සොයමි. ඔවුන් බැටළුවන්ට තණ කවන්නේ කොහේ ද කියා කරුණාකර මට කියන්නැ”යි උත්තර දුන්නේ ය.</verse>
				<verse number="17">එවිට ඒ මිනිසා, “ඔබේ සහෝදරයන් මෙතැනින් යන්න ඇත. ‘අපි දොතාන් නම් පෙදෙසට යමු’යි ඔවුන් කියනු මට ඇසිණි”යි කීවේ ය. එවිට ජෝසෙප් තම සොහොයුරන් සොයා යන විට, දොතාන්හි දී ඔව්හු ඔහුට හමු වූ හ.</verse>
				<verse number="18">ඔහුගේ සහෝදරයෝ ඔහු දුර සිට දුටු හැටියේ ම, ඔවුන් වෙත එන්නටත් පෙර, ඔහු මරාදැමීමට කුමන්ත්‍රණය කළහ.</verse>
				<verse number="19">ඔව්හු එකිනෙකා අමතමින්, “ඔය එන්නේ ස්වප්නකාරයා.</verse>
				<verse number="20">දැන් ඉතින් වරෙල්ලා, අපි ඔහු මරා වළකට දමා, ‘මොකෙක් හරි නපුරු වන සතෙක් ඔහු කාදැමුවේ ය’යි කියමු. එවිට ඔහුගේ සිහිනවලට සිදුවන දේ බලමු”යි කතා කරගත්හ.</verse>
				<verse number="21">රූබන් ඒ අසා, ඔවුන් අතින් ඔහු මුදාගැනීමට බලමින්, “අපි ඔහුගේ ජීවිතයට හානියක් නොකරමු”යි කී ය.</verse>
				<verse number="22">තවදුරටත් ඔහු ඔවුන්ට කතා කොට, “ලේ බිඳක් නොහළා, පාළු තැන්නේ ඇති මේ වළට අපි ඔහු විසිකර දමමු. ඔහුට නම් අත නොතබන්නැ”යි කීවේ ය. ඔහු මෙසේ කීවේ ඔවුන්ගෙන් ඔහු බේරාගෙන, තම පියාට නැවත ඔහු මුදා දෙන පිණිස ය.</verse>
				<verse number="23">ජෝසෙප් තම සොහොයුරන් වෙත පැමිණි විට ඔව්හු ඔහුගේ ඇඳුම, අත් ඇති, දිග, විශේෂ ඇඳුම ගලවාදමා,</verse>
				<verse number="24">ඔහු රැගෙන වළකට දැමූ හ. ඒ වළ ද වතුර නැති හිස් එකක් විය.</verse>
				<verse number="25">ඉන්පසු ඔව්හු ආහාර අනුභව කිරීමට වාඩි වී, හිස ඔසවා බලන්නාහු ගිලියද්හි සිට මිසරයට ගෙන යන පිණිස කුළු බඩු ද සුවඳ ද්‍රව්‍ය සහ දුම්මල ද ඔටුවන් පිට පටවාගෙන යන ඉෂ්මායෙල්වරුන්ගේ තවලමක් දුටහ.</verse>
				<verse number="26">එවිට ජුදා තම සොහොයුරන් අමතමින්, “අපේ සහෝදරයා මරා දමා, ඔහුගේ ලේ සැඟවීමෙන් කුමන පලක් ද?</verse>
				<verse number="27">එන්න, අපි ඔහු පිට අත නොතබා, ඉෂ්මායෙල්වරුන්ට විකුණමු. ඇත්තට ම ඔහු අපේ ම සහෝදරයා නො වේ ද; අපි එක පියෙකුගේ දරුවෝ නො වෙමු දැ”යි කී ය. ඔහුගේ සහෝදරයෝ ද එකඟ වූ හ.</verse>
				<verse number="28">මිදියන් ජාතික වෙළෙඳුන් ඔවුන් අසලින් යන කල, ඔව්හු ජෝසෙප් වළෙන් ගොඩට ගෙන, ඉෂ්මායෙල්වරුන්ට රිදී කාසි විස්සකට වික්කෝ ය. ඔව්හු ද ජෝසෙප් මිසරයට ගෙනාහ.</verse>
				<verse number="29">එහෙත්, රූබන් ආපසු වළ ළඟට ආ විට පුදුමයකි, ජෝසෙප් වළේ නොසිටි බැවින්, ඔහු දුකින් පිරී තම වස්ත්‍ර ඉරා ගෙන,</verse>
				<verse number="30">සිය සොහොයුරන් වෙත නැවත පැමිණ, “ළමයා නැත, ඉතින් මම කුමක් කරන්න දැ”යි කී ය.</verse>
				<verse number="31">ඔව්හු ද එළු පැටියෙකු මරා, ජෝසෙප්ගේ වස්ත්‍රය ගෙන, එය එහි ලේවල ගැල්වූ හ.</verse>
				<verse number="32">පසුව අත් ඇති, දිග, එම විශේෂ ඇඳුම තමන්ගේ පියා වෙත ගෙනැවිත්, “මෙය අපට සම්බ විය, එය ඔබ පුත්‍රයාගේ වස්ත්‍රය ද, නැද්දැ යි කියා සොයා බලන්නැ”යි කී හ.</verse>
				<verse number="33">ඔවුන්ගේ පියා වන ජාකොබ් ද, එය බලා හඳුනාගෙන, “මෙය මාගේ පුතාගේ වස්ත්‍රය ම යි. නපුරු සතෙකු අනුමානයක් නැති ව ම ඔහු කෑලිවලට ඉරාදමා ඇත” කියා,</verse>
				<verse number="34">දුකින් තම වස්ත්‍ර ඉරාගෙන, තම ඉණ වටා හණ රෙදි ඇඳගෙන, බොහෝ දිනක් තම පුත්‍රයා නිසා වැලපුණේ ය.</verse>
				<verse number="35">ඔහුගේ පුත්තු හා දූවරු සියල්ලෝ ම ඔහු සනසන්නට නැඟිට ආහ. එහෙත් ඔහු සනසනු ලැබීමට අකමැති ව, “මම වැලපෙමින් ම මාගේ පුතු වෙත මිනීවළට යන්නෙමි”යි කී ය. මෙලෙස ඔහුගේ පියා ඔහු නිසා හඬා වැලපුණේ ය.</verse>
				<verse number="36">මිදියන්වරු, මිසරයේ දී පාරාවෝ රජුගේ වාසල ඇමති හා මුර සෙන්පති වන පොතිපර්ට ජෝසෙප් විකුණුවෝ ය.</verse>
			</chapter>
			<chapter number="38">
				<verse number="1">එකල ජුදා තම සහෝදරයන්ගෙන් වෙන් වී අදුල්ලම් නම් නගරයේ වැසියෙකු වන හීරා නමැත්තෙකු සමඟ වාසය කිරීමට ගියේය.</verse>
				<verse number="2">එහි දී ඔහු කානානිය ජාතික, ෂුවා නමැත්තෙකුගේ දුවක දැක, ඈ සරණ පාවාගෙන, ඈ සමඟ විසුවේ ය.</verse>
				<verse number="3">ඈ ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. ජුදා ඔහුට ඒර් යන නම තැබී ය.</verse>
				<verse number="4">ඈ නැවතත් ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. ඈ ඔහුට ඕනාන් යන නම තැබුවා ය.</verse>
				<verse number="5">ඈ තව වරක් ගැබ්ගෙන පුතෙකු ලැබුවෙන්, ඔහුට ෂේලා යන නම තැබුවා ය. ඈ ෂේලා ලැබූ විට, ජුදා සිටියේ කෙසිබ් නම් ස්ථානයේ ය.</verse>
				<verse number="6">ජුදා තම කුලුඳුල් පුත් ඒර්ට තාමාර් නමැති ස්ත්‍රියක විවාහ කොට දුනි.</verse>
				<verse number="7">එහෙත් ජුදාගේ කුලුඳුල් පුත් ඒර්, සමිඳාණන් වහන්සේට විරුද්ධ ව බොහෝ පව් කළ හෙයින් උන් වහන්සේ ඔහු මැරෙන්නට සැලැසූ සේක.</verse>
				<verse number="8">එවිට ජුදා ඕනාන්ට කතා කොට, “නුඹ සහෝදරයාගේ වැන්දඹුව සරණ පාවාගෙන, මස්සිනා කෙනෙකු නිසා ඈ වෙත යුතුකම ඉටු කර සහෝදරයාට දරුවන් උත්පාද කරන්නැ”යි කී ය.</verse>
				<verse number="9">එහෙත්, ඕනාන්, දරුවන් තමාගේ නොවන බව දැනගෙන, තම සහෝදරයාගේ වැන්දඹුව සමඟ සයනය කළ සැම විට ම සිය සහෝදරයාට දරුවන් නො දෙනු පිණිස තම පුරුෂ ධාතු බිම වැගිරෙන්නට සැලැසී ය.</verse>
				<verse number="10">ඔහු කළ ක්‍රියාව සමිඳාණන් වහන්සේට අප්‍රසන්න වූ හෙයින්, උන් වහන්සේ ඔහු ද මැරෙන්නට සැලැසූ සේක.</verse>
				<verse number="11">එවිට ජුදා තම ලේලිය වන තාමාර්ට කතා කොට, “මාගේ පුත්‍ර ෂේලා වැඩිවියට පැමිණෙන තෙක් ඔබේ පියා වෙත වැන්දඹුවක මෙන් ආපසු යන්නැ”යි කීවේ ය. ඔහු මෙසේ කීවේ, ‘ඔහුගේ සහෝදරයන්ට වූ ලෙස ම ඇතැම් විට ඔහුත් මැරෙන්නට පුළුවනැ’යි සිතූ නිසා ය. එවිට තාමාර් ගොස්, තම පියාගේ ගෘහයෙහි පදිංචි වූවා ය.</verse>
				<verse number="12">කලක් ගිය පසු ෂුවාගේ දුව වූ ජුදාගේ භාර්යාව මළා ය. ඔහු ද අවමංගල්‍ය කාලය නිම වූ පසු, අදුල්ලම් නගරවැසි තම මිත්‍ර හීරා සමඟ, තම බැටළුවන්ගේ ලොම් කපන මිනිසුන් වෙත, තිම්නා නම් ස්ථානයට ගියේය.</verse>
				<verse number="13">“ඔබේ මාමණ්ඩි ඔහුගේ බැටළුවන්ගේ ලොම් කපන පිණිස තිම්නාට යන්නේ ය” කියා තාමාර්ට දන්වන ලදින්,</verse>
				<verse number="14">ඈ තම කනවැන්දුම් ඇඳුම් ඉවත ලා, මුහුණු වැස්මකින් තම මුහුණ වසා, පොරවාගෙන තිම්නාවට යන මඟ, ඒනයිම් නම් නුවරට ඇතුළු වන ස්ථානයෙහි වාඩි වූවා ය. මන්ද, ෂේලා වැඩිවියට පැමිණි නමුත්, ඔහුට ඈ භාර්යාව කොට නුදුන් බව ඈ දුටු හෙයිනි.</verse>
				<verse number="15">ජුදා ඈ දුටු විට ඈ තම මුහුණ වසාගෙන සිටි බැවින් ‘ඈ වේශ්‍යාවකැ’යි ඔහු සිතී ය.</verse>
				<verse number="16">ඔහු ද මඟ අසල සිටි ඈ වෙත ගොස්, “කරුණාකර, එන්න, ඔබ සමඟ සයනය කිරීමට මට ඉඩ හරින්නැ”යි කී ය. මන්ද, ඈ තම ලේලිය බව ඔහු නොදත් හෙයිනි. ඈ ද උත්තර දෙමින්, “මා සමඟ සේවනයෙහි යෙදෙනු පිණිස ඔබ මට කුමක් දෙන්නෙහි දැ”යි ඇසුවා ය.</verse>
				<verse number="17">“පට්ටියෙන් එළු පැටියෙකු එවන්නෙමි”යි ඔහු කී විට, “හොඳයි, ඔබ එය එවනතුරු මට අත්තිකාරමක් දෙන්නෙහි දැ”යි විචාළා ය.</verse>
				<verse number="18">එවිට ඔහු ද, “කුමන අත්තිකාරමක් ඔබට දෙන්න දැ”යි ඇසුවෙන්, ඈ ද, “ඔබගේ මුද්‍රාවත්, මාලයත්, අතේ තිබෙන සැරයටියත් ය”යි උත්තර දුන්නා ය. ඔහු ඒවා ඈට දුන් පසු, ඈ සමඟ සයනය කෙළේ ය. ඈ ද පිළිසිඳගත්තා ය.</verse>
				<verse number="19">පසුව ඈ නැඟිට, පිටත් ව ගොස්, සළුව ඉවත ලා, කනවැන්දුම් ස්ත්‍රියකගේ ඇඳුම් ලාගත්තා ය.</verse>
				<verse number="20">ජුදා අදුල්ලම් නගරවාසී, තම මිතුරා අත, ස්ත්‍රියගෙන් අත්තිකාරම ආපසු ලබාගන්නා පිණිස එළු පැටියෙකු යැවී ය. එහෙත් ඔහුට ඈ සම්බ නො වූවා ය.</verse>
				<verse number="21">එවිට ඔහු එහි සිටිය මිනිසුන්ට කතා කොට, “ඒනයිම් නම් ස්ථානයේ මඟ අසල සිටි වේශ්‍යාව කොහි දැ”යි ඇසූ විට, “එහි වේශ්‍යාවක් සිටියේ නැතැ”යි ඔව්හු උත්තර දුන් හ.</verse>
				<verse number="22">පසුව ඔහු ජුදා වෙත ආපසු ගොස්, “මට ඈ සොයාගන්නට බැරි ය, ඇරත් එහි සිටි මිනිස්සු පවා එහි වේශ්‍යාවක් සිටියේ නැත කියා කීවෝ ය”යි සැළ කෙළේ ය.</verse>
				<verse number="23">එවිට ජුදා කතා කොට, “ඈ ගත් දේ ඈ ම තබාගත්තාවේ; නැත්නම් මිනිසුන් අපට සිනාසෙන්නට පුළුවනි. ඔබට ඈ සම්බ නුවූ නමුත්, බලන්න, මම මේ බැටළු පැටියා ඈ වෙත යැවීමි”යි කී ය.</verse>
				<verse number="24">මාස තුනක් පමණ ගත වූ පසු, “ඔබේ ලේලිය වන තාමාර් වේශ්‍යාකම් කළා ය” කියා ද, “ඇරත් වේශ්‍යාකමින් ඈ පිළිසිඳගෙන සිටින්නී ය” කියා ද ජුදාට දන්වන ලදින්, ඔහු ද, “ඈ පිටත ගෙනවුත් පුළුස්සා දමන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="25">ඈ ද පිටතට ගෙනෙනු ලැබූ විට, තම මාමණ්ඩිට පණිවුඩයක් යවමින්, “මේවා යම් කෙනෙකුගේ ද, ඒ මිනිසාට දාව මම පිළිසිඳ ගත්තෙමි. එබැවින් කරුණාකර මේ බඩු වන, මුද්‍රාවත්, මාලයත්, සැරයටියත් කාගේ ද කියා විමසා බලන්නැ”යි කීවා ය.</verse>
				<verse number="26">ජුදා ද ඒවා හඳුනාගෙන, “මා පුත් ෂේලා ඈට නුදුන් බැවින් මට වඩා හරි දේ කර ඇත්තේ ඈ ය”යි කී ය. එහෙත්, ඉන්පසු ඈ සමඟ ඔහු සයනය කෙළේ නැත.</verse>
				<verse number="27">ඈ ප්‍රසව වේදනාවෙන් පසු වන විට, පුදුමයකි, ඇගේ කුසේ නිඹුල්ලු සිටියහ.</verse>
				<verse number="28">ඈ දරුවන් ලබන කල, එක දරුවෙක් අත පිටතට දැමී ය. වින්නඹු මව ද එය ගෙන, “මොහු පළමුවෙන් පිට වී ය”යි කියා, ඔහුගේ අතේ තද රතු නූලක් බැන්දා ය.</verse>
				<verse number="29">එහෙත් ඔහු අත ඇතුළට ඇදගත් විට, ඔහුගේ සහෝදරයා බිහි විය. එවිට වින්නඹු මව ද, “ඔබ කඩා බිඳගෙන ආ හැටි යස යි” කියා ඔහුට පෙරෙශ් යන නම තැබුවා ය.</verse>
				<verse number="30">ඉන්පසු, තම අතේ තද රතු නූල බැඳි ඔහුගේ සහෝදරයා බිහි විය. ඔහුට ශෙරා යන නම දෙන ලදී.</verse>
			</chapter>
			<chapter number="39">
				<verse number="1">ජෝසෙප් මිසරයට ගෙනයනු ලැබී ය. එකල පාරාවෝගේ වාසල ඇමති හා මුර සෙන්පති වූ මිසර ජාතික පොතිපර්, ජෝසෙප් එහි ගෙන ගිය ඉෂ්මායෙල්වරුන්ගෙන් ඔහු මිලයට ගත්තේ ය.</verse>
				<verse number="2">සමිඳාණන් වහන්සේ ජෝසෙප් සමඟ වැඩසිටියෙන් ඔහුගේ හැම කටයුත්තක් ම සාර්ථක විය. ඔහු මිසර ජාතික තම ස්වාමියාගේ නිවසෙහි වාසය කෙළේ ය.</verse>
				<verse number="3">ඔහුගේ ස්වාමියා ද සමිඳාණන් වහන්සේ ජෝසෙප් සමඟ වැඩසිටි බවත්, ඔහු කළ සියල්ල සාර්ථක වීමට උන් වහන්සේ සැලැසූ බවත් දිටී ය.</verse>
				<verse number="4">එහෙයින් ජෝසෙප් ඔහුගේ ප්‍රසාදයට පාත්‍ර විය. ජෝසෙප් ඔහුට සේවය කෙළේ ය. තවද පොතිපර්, ඔහු තම ගෘහයේ කළමනාකරු කොට පත් කර, තමා සතු සියල්ල ඔහුගේ පාලනයට බාර දුනි.</verse>
				<verse number="5">ජෝසෙප් ගෘහයේ හා එහි සියල්ලේ කළමනාකරු හැටියට පත් කළ දින පටන් සමිඳාණන් වහන්සේ මිසර ජාතිකයාගේ ගෘහයට ආශීර්වාද කළ සේක. ඇරත් ඔහුගේ ගෘහයේ හා වතුපිටිවල සියල්ල කෙරෙහි ඒ ආශීර්වාදය විය.</verse>
				<verse number="6">පොතිපර් තමා සතු සියල්ල ජෝසෙප්ගේ අතට බාර දුනි. ඔහු තමා අනුභව කළ ආහාර ගැන මිස තමා සතු අන් කිසිවක් ගැන සැලකුවේ නැත. ජෝසෙප් කඩවසම් පෙනුමක් ඇති, රූපසම්පන්න කෙනෙක් විය.</verse>
				<verse number="7">ටික කලක් ගත වූ පසු, ඔහුගේ ස්වාමියාගේ බිරිඳ ජෝසෙප් වෙත නෙත් හෙළා, “මා සමඟ සයනය කරන්නැ”යි කීවා ය.</verse>
				<verse number="8">එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කර, තම ස්වාමියාගේ බිරිඳ අමතා, “බලන්න, මා ගෙදර ඉන්න නිසා, කිසි ම දෙයක් ගැන මාගේ ස්වාමියාට බරක් නැත. ඇරත් ඔහු සතු සියල්ල ම මා අතට පවරා දී ඇත.</verse>
				<verse number="9">මේ නිවස කෙරෙහි ඔහුට මෙන් ම මට ද පාලන බලය ඇත. ඔබ ඔහුගේ භාර්යාව නිසා ඔබ හැරෙන්නට, අන් සියල්ල ම මට බාර දී ඇත. එසේ නම් මම මෙ වැනි මහා දුෂ්ට ක්‍රියාවක් කොට, දෙවියන් වහන්සේට විරුද්ධ ව කෙසේ පව් කරම් දැ”යි ඇසී ය.</verse>
				<verse number="10">දවසින් දවස, ඈ සමඟ සයනය කිරීමට හෝ ඈ ළඟ සිටීමට හෝ ඈ ජෝසෙප්ට කතා කළ නමුත්, ඔහු ඈට ඇහුම්කන් නුදුන්නේ ය.</verse>
				<verse number="11">එක් දිනක් තම සේවා කිරීම පිණිස ජෝසෙප් ගෙට ඇතුළු විය. ගෘහයේ සේවකයන්ගෙන් කිසිවෙක් ද එහි ඇතුළත නො සිටියේ ය.</verse>
				<verse number="12">ඈ ඔහුගේ වස්ත්‍රයෙන් අල්ලාගෙන, “මා සමඟ සයනය කරන්නැ”යි කීවා ය. එහෙත් ඔහු තම වස්ත්‍රය ඇගේ අතේ හැරදමා ගෙයින් පිටතට පලා ගියේය.</verse>
				<verse number="13">ඈ ද, ඔහුගේ වස්ත්‍රය තමාගේ අතේ හැරදමා, ඔහු පලා ගිය බව දුටු විට,</verse>
				<verse number="14">තම ගෘහයේ සේවකයන් කැඳවා, ඔවුන්ට කතා කරමින්, “බලන්න, මාගේ සැමියා අපට අවමන් කිරීමට අප වෙත හෙබ්‍රෙව් ජාතිකයෙකු ගෙනාවේ ය. මා සමඟ සයනය කිරීමට ඔහු මා ළඟට පැමිණියේ ය, මම ද මහ හඬින් කෑගැසුවෙමි.</verse>
				<verse number="15">මා මහ හඬින් කෑගසන බව ඔහුට ඇසුණු විට, මා අත ඔහුගේ වස්ත්‍රය හැරදමා ගෙයින් පිටතට පලා ගියේ ය”යි කීවා ය.</verse>
				<verse number="16">මෙසේ කියා තම ස්වාමි පුරුෂයා එන තුරු, ඈ ඔහුගේ වස්ත්‍රය තමා ළඟ තබාගත්තා ය.</verse>
				<verse number="17">ඔහුට ද ඈ එම කතාව කියමින්, “අප වෙත ඔබ ගෙනා හෙබ්‍රෙව් ජාතික සේවකයා, මට නිග්‍රහ කිරීමට මා ළඟට පැමිණියේ ය.</verse>
				<verse number="18">මා මහ හඬින් කෑගැසූ විට ඔහු තම වස්ත්‍රය මා වෙත හැරදමා පලා ගියේ ය”යි සැළ කළා ය.</verse>
				<verse number="19">ජෝසෙප්ගේ ස්වාමියා ද, ‘ඔබේ සේවකයා මෙලෙස කෙළේ ය’යි තම භාර්යාව කී වචන ඇසූ විට, කෝපයෙන් දිළිහී,</verse>
				<verse number="20">ඔහු අත්අඩංගුවට ගෙන රජුගේ සිරකරුවන් තබන සිරගෙයි දැමී ය. මෙසේ ඔහු සිරගෙදර නැවතී සිටියේ ය.</verse>
				<verse number="21">එහෙත්, සමිඳාණන් වහන්සේ ජෝසෙප් සමඟ වැඩසිට, ඔහුට කරුණාව පෙන්වා, සිරගෙදර පාලකයාගේ ප්‍රසාදය ද ඔහුට ලබා දුන් සේක.</verse>
				<verse number="22">සිරගෙයි පාලකයා ද සිරගෙදර සිටි සියලු සිරකරුවන් ජෝසෙප්ගේ පාලනයට බාර දුන්නේ ය. ඔවුන් එහි කළ සියල්ල පිළිබඳ වගකීම ජෝසෙප් අතෙහි විය.</verse>
				<verse number="23">තවද, ජෝසෙප්ගේ පාලනයට පවරා දුන් කිසිවක් ගැන සිරගෙයි පාලකයාට ප්‍රශ්නයක් නො වී ය. මන්ද, සමිඳාණන් වහන්සේ ඔහු සමඟ වැඩසිට, ඔහු කළ සියල්ල ම සාර්ථක කිරීමට සැලැසූ නිසා ය.</verse>
			</chapter>
			<chapter number="40">
				<verse number="1">මීට ස්වල්ප කලකට පසු මිසරයේ රජුගේ කුසලාන පිරිනමන්නා හා පූප සාදන්නා ඔවුන්ගේ ස්වාමියා වන මිසරයේ රජතුමාට විරුද්ධ ව වැරදි කොට තිබිණි.</verse>
				<verse number="2">පාරාවෝ රජ කුසලාන පිරිනමන්නන්ගේ ප්‍රධානියා හා පූප සාදන්නන්ගේ ප්‍රධානියා යන මේ නිලධාරීන් දෙදෙනාට විරුද්ධ ව කිපී,</verse>
				<verse number="3">මුර සෙන්පතියාගේ නිවෙසහි වූ, සිරගෙදර ඔවුන් දැමී ය. ජෝසෙප් ද සිරගත ව සිටියේ එම ස්ථානයේ ය.</verse>
				<verse number="4">මුර සෙන්පති ඔවුන් ජෝසෙප්ට බාර දුන්නේ ය. ඔහු ඔවුන් බලාගත්තේ ය. ඔව්හු සෑහෙන කාලයක් සිරගත ව සිටියහ.</verse>
				<verse number="5">එකල සිරගත ව සිටි මිසර රජුගේ කුසලාන පිරිනමන්නා හා පූප සාදන්නා යන දෙදෙනා ම තම තමන්ට ම අදාළ වූ තේරුම් ඇති සිහිනයක් බැගින්, එක ම රාත්‍රියේ දී දුටහ.</verse>
				<verse number="6">උදය කාලයේ දී ජෝසෙප් ඔවුන් වෙත පැමිණ, ඔවුන් දෙස බැලූ කල, ඔවුන් කණස්සල්ලෙන් සිටිනු දිටී ය.</verse>
				<verse number="7">එවිට ඔහු තම ස්වාමියාගේ නිවෙසහි තමා සමඟ හිරගත ව සිටි පාරාවෝගේ වාසල නිලධාරීන්ට කතා කොට, “අද ඔබ මෙතරම් මළානික ව සිටින්නේ මන්දැ”යි විචාළේ ය.</verse>
				<verse number="8">ඔව්හු ද ඔහුට උත්තර දෙමින්, “අපි දෙදෙන ම සිහිනයක් බැගින් දුටිමු. එහෙත්, එහි තේරුම කියා දෙන්න කෙනෙක් නැතැ”යි කී හ. එවිට ජෝසෙප් ඔවුන් අමතා, “තේරුම දෙවියන් වහන්සේ සතු දෙයක් නො වේ ද? කරුණාකර, මට ඒවා කියන්නැ”යි පැවසී ය.</verse>
				<verse number="9">එවිට ප්‍රධාන කුසලාන පිරිනමන්නා ජෝසෙප්ට කතා කොට, තමාගේ සිහිනය දන්වමින්, “මම, සිහිනෙන් මා ඉදිරියෙහි මිදි වැලක් දිටිමි.</verse>
				<verse number="10">මිදි වැලේ රිකිලි තුනක් විය. තවද එහි, දලු ලියලා මල් හට ගත්තේ ය. එහි වලුවල ඉදුණු මිදි ගෙඩි තිබිණි.</verse>
				<verse number="11">පාරාවෝගේ කුසලාන මා අතේ විය. මම මිදි ගෙඩි ගෙන, පාරාවෝගේ කුසලානට ඒවා මිරිකා, පාරාවෝ අතට කුසලාන දුනිමි”යි කීවේ ය.</verse>
				<verse number="12">ජෝසෙප් ඔහුට කතා කොට, “එහි තේරුම නම් මෙය යි. රිකිලි තුන දින තුනකි.</verse>
				<verse number="13">තුන් දිනක් ඇතුළත පාරාවෝ ඔබ සිරගෙයින් පිට කර ඔබේ නිලය නැවත ඔබට දෙන්නේ ය. ඔබ, කලින් එතුමාගේ කුසලාන පිරිනමන්නා මෙන් සිටිය දී කළ පරිදි නැවත පාරාවෝ අතට කුසලාන දෙන්නෙහි ය.</verse>
				<verse number="14">ඉතින් ඔබට හොඳ කාලයක් ආ විට මා සිහිකර, කරුණාකර, මට ප්‍රසාදය දක්වන්න. පාරාවෝට ද මා ගැන සඳහන් කොට, මේ සිරගෙයින් මා පිටතට ගන්න.</verse>
				<verse number="15">මන්ද, ඇත්තට ම, මම හෙබ්‍රෙව්වරුන්ගේ දේශයෙන් පැහැරගනු ලැබීමි. මෙහි දී පවා මේ සිරගෙයි දමනු ලැබීමට මම කිසිවක් නො කෙළෙමි”යි කීවේ ය.</verse>
				<verse number="16">ප්‍රධාන පූප සාදන්නා ද එහි තේරුම කදිම බව දුටු විට, ඔහුත් ජෝසෙප්ට කතා කොට, “මම ද සිහිනෙන්, මාගේ හිස මත පූප පෙට්ටි තුනක් ඇති ව සිටිනු දිටිමි.</verse>
				<verse number="17">උඩින් ම තිබූ පෙට්ටියේ පාරාවෝ සඳහා පිසූ විවිධ ආහාර වර්ග තිබිණි. පක්ෂීහු අවුත් මාගේ හිස මත තිබූ පෙට්ටියෙන් ඒවා කෑ හ”යි කීවේ ය.</verse>
				<verse number="18">එවිට ජෝසෙප් පිළිතුරු දෙමින්, “එහි තේරුම මෙය යි. පෙට්ටි තුන නම් දින තුනකි.</verse>
				<verse number="19">දින තුනක් ඇතුළත පාරාවෝ ඔබ සිරගෙයින් පිට කර, ඔබ ගසක එල්ලන්නේ ය. කුරුල්ලෝ ඔබේ සිරුරෙන් මස් කොටා කන්නෝ ය”යි කී ය.</verse>
				<verse number="20">තවද, තුන් වන දින, පාරාවෝගේ ජන්මෝත්සවය වූයෙන්, ඔහු සියලු නිලධාරීන් සඳහා මංගල භෝජනයක් පිළියෙළ කෙළේ ය. ඔහු නිලධාරීන් ඉදිරියෙහි කුසලාන පිරිස්නමන්නන්ගේ ප්‍රධානියා හා පූප සාදන්නන්ගේ ප්‍රධානියා සිරගෙයින් පිට කර,</verse>
				<verse number="21">කුසලාන පිරිනමන්නන්ගේ ප්‍රධානියා යළි එම නිලයට ම පත් කෙළේ ය. ඔහු පාරාවෝ අතට කුසලාන පිරිනැමී ය.</verse>
				<verse number="22">එහෙත්, ඔහු පූප සාදන්නන්ගේ ප්‍රධානියා එල්ලාදැමී ය. මෙසේ ජෝසෙප් ඔවුන්ට තේරුම් කර දුන් ලෙස ම සියල්ල සිදු විය.</verse>
				<verse number="23">එහෙත් කුසලාන පිරිනමන්නා නම් ජෝසෙප් ගැන නොසිතා ඔහු අමතක කර දැමී ය.</verse>
			</chapter>
			<chapter number="41">
				<verse number="1">අවුරුදු දෙකකට පසු පාරාවෝ සිහිනෙන් තමා නයිල් ගංගාව අසල සිටිනු දිටී ය.</verse>
				<verse number="2">එවිට, බලන්න ලස්සන, තරබාරු එළදෙන්නු හත්දෙනෙක් ගඟින් නැඟී අවුත්, බට පඳුරු අතර තණ කන්නට වූ හ.</verse>
				<verse number="3">උන්ට පසුව, අවලස්සන, කැහැටු, තව එළදෙන්නු හත්දෙනෙක් ගඟින් නැඟී අවුත්, ගං ඉවුරේ පෙර කී එළදෙන්නු ළඟ සිටගත්හ.</verse>
				<verse number="4">තවද, අවලස්සන, කැහැටු එළදෙන්නු, ලස්සන තරබාරු එළදෙනුන් හත්දෙනා කා දැමූ හ. එවිට පාරාවෝ අවදි විය.</verse>
				<verse number="5">ඔහු නැවත නිදාගත්තේ ය. දෙ වන වරටත්, ඔහු සිහිනෙන්, ගොයම් ගහක හටගත් කදිම, රන්වන් ගොයම් කරල් හතක් දිටී ය.</verse>
				<verse number="6">ඉන්පසු එහි, පෙරදිග සුළඟින් වියළීගිය තව කේඬෑරි කරල් හතක් මතු විය.</verse>
				<verse number="7">තවද, කේඬෑරි කරල් හත, කදිම, රන්වන් කරල් හත ගිලදැමී ය. එවිට පාරාවෝ නින්දෙන් අවදි විය. එය සිහිනයක් බව ඔහු තේරුම්ගත්තේ ය.</verse>
				<verse number="8">උදෑසන ඔහුගේ සිත කැළෙඹන්නට විය. ඔහු මිසර දේශයේ ඉන්ද්‍රජාලිකයන් හා ප්‍රාඥායන් සියල්ලන්ට පණිවුඩ යවා, ඔවුන් කැඳවා, ඔවුන්ට තම සිහිනය දැන්වී ය. එහෙත්, පාරාවෝට එය තේරුම්කර දීමට පුළුවන් කිසිවෙක් නො වී ය.</verse>
				<verse number="9">එවිට රාජකීය කුසලාන පිරිනමන්නා පාරාවෝට කතා කොට, “මා අතින් වූ වරද දැන් මට මතක් වෙයි.</verse>
				<verse number="10">ඔබතුමා ඔබේ නිලධාරීන් සමඟ කිපී, මා සහ පූප සාදන්නන්ගේ ප්‍රධානියා මුර සෙන්පතිගේ නිවෙසහි වූ හිරගෙයි දැමුවෙහි ය.</verse>
				<verse number="11">ඔහුත්, මමත් එක ම රාත්‍රියහි සිහින දුටුවෙමු. අප දුටු සිහින ද අප එක් එක්කෙනාට අදාළ තේරුම් ඇති සිහින විය.</verse>
				<verse number="12">තවද, මුර සෙන්පතිගේ සේවකයෙකු වූ, හෙබ්‍රෙව් ජාතික තරුණයෙක් එහි විය. අප ඒවා ඔහුට කී විට අපගේ සිහින ඔහු අපට තේරුම් කොට දුනි. ඔහු අපට ඒවා තේරුම් කොට දුන්නේ අප එක් එක්කෙනා දුටු සිහිනයට ගැලෙපන පරිදි ය.</verse>
				<verse number="13">ඇත්තට ම ඔහු අපට තේරුම් කළ ලෙස ම සියල්ල සිදුවිය. එනම් මම නැවත නිලයට පත් කරන ලදිමි. එහෙත් පූප සාදන්නා එල්ලාදමන ලදී”යි කීවේ ය.</verse>
				<verse number="14">එවිට පාරාවෝ පණිවුඩයක් යවා ජෝසෙප් කැඳවූ විට, ඔව්හු නොපමාව ඔහු හිරගෙයින් පිටතට ගෙනාහ. ඔහු ද, රැවුළ කපා, තම ඇඳුම් මාරු කර, පාරාවෝ ඉදිරියට පැමිණියේ ය,</verse>
				<verse number="15">පාරාවෝ ජෝසෙප්ට කතා කොට, “මම සිහිනයක් දිටිමි. එය තේරුම් කර දීමට හැකි කෙනෙක් නැත. එහෙත්, නුඹ සිහිනයක් ඇසූ විට, එය තේරුම් කොට දීමට සමතෙකු බව මා අසා තිබේ ය”යි කී ය.</verse>
				<verse number="16">ජෝසෙප් උත්තර දෙමින්, “සමතා මම නොවෙමි. දෙවියන් වහන්සේ පාරාවෝට සතුටුදායක පිළිතුරක් දෙන සේකැ”යි කීවේ ය.</verse>
				<verse number="17">එවිට පාරාවෝ ජෝසෙප්ට කතා කොට, “සිහිනෙන්, මම ගං ඉවුරේ සිටිනු දිටිමි.</verse>
				<verse number="18">එවිට පුදුමයකි! බලන්න ලස්සන තරබාරු, එළදෙන්නු හත්දෙනෙක් ගඟින් නැඟී අවුත් බට ගස් අතරෙහි තණ කන්නට වූ හ.</verse>
				<verse number="19">උන්ට පසුව වැහැරුණු, ඉතා අවලස්සන, කැහැටු එළදෙන්නු හත්දෙනෙක් ද නැඟී ආහ. මෙබඳු අවලස්සන සතුන් මුළු මිසර දේශයෙහි මීට පෙර මා කවදාවත් දැක නැත.</verse>
				<verse number="20">තවද, කෙට්ටු, අවලස්සන එළදෙන්නු, පළමු තරබාරු එළදෙන්නු හත්දෙන කා දැමූ හ.</verse>
				<verse number="21">උන් කා දැමූ පසු, උන් කෑ බවක් දැනගන්නට වත් බැරි විය. මන්ද, කලින් සිටියාක් මෙන් ම අවලස්සන තත්ත්වයක සිටි නිසා ය. එවිට මම පිබිදුණෙමි.</verse>
				<verse number="22">තව වරක් මම සිහිනෙන්, එක ගොයම් ගහක හටගත් කදිම, රන්වන් කරල් හතක් දිටිමි.</verse>
				<verse number="23">ඊට පසු මැළවුණු, නිසරු, පෙරදිග සුළඟින් වියළී ගිය තව කරල් හතක් එහි මතු විය.</verse>
				<verse number="24">එවිට නිසරු කරල්, රන්වන් කරල් ගිලදැමී ය. මම මෙය ඉන්ද්‍රජාලිකයන්ට කීවෙමි, එහෙත්, එය මට තෝරා දීමට සමත් කිසිවෙක් නැතැ”යි කීවේ ය.</verse>
				<verse number="25">එවිට ජෝසෙප් පාරාවෝට කතා කොට, “පාරාවෝ දුටු සිහිනවල ඇත්තේ එක ම තේරුමකි. දෙවියන් වහන්සේ කරන්න යන දෙය පාරාවෝට පෙන්වා දුන් සේක.</verse>
				<verse number="26">හොඳ එළදෙනුන් හත්දෙන අවුරුදු හතකි; හොඳ කරල් හත ද අවුරුදු හතකි; සිහිනය එක ම යි.</verse>
				<verse number="27">තවද, උන්ට පසුව නැඟී ආ කැහැටු, බලන්න තරම් අවලස්සන එළදෙනුන් හත්දෙන ද පෙරදිග සුළඟින් වියළීගිය බොල් කරල් හත ද සාගතයක් පවතින අවුරුදු හතකි.</verse>
				<verse number="28">මෙය වූ කලී, මා පාරාවෝට කී පරිදි දෙවියන් වහන්සේ කරන්න යන දෙය උන් වහන්සේ පාරාවෝට කල්තියා පෙන්වාදීමකි.</verse>
				<verse number="29">මෙන්න, මුළු මිසර දේශය පුරා ඉතා සරුසාර අවුරුදු හතක් පැමිණෙන්නේ ය.</verse>
				<verse number="30">ඉන්පසු සාගතයේ අවුරුදු හතක් පැමිණේ. එවිට මිසර දේශයේ සියලු සමෘද්ධිය අමතක වී ගොස්, සාගතය රට කා දමන්නේ ය.</verse>
				<verse number="31">පසුව එන සාගතය ඉතා දරුණු වන හෙයින් එහි තිබූ සමෘද්ධිය නොදැනී යන්නේ ය.</verse>
				<verse number="32">තවද, ඔබට ඒ සිහිනය දෙවරක් ම පෙනුණේ, දෙවියන් වහන්සේ දැනට ම මේ සිද්ධිය නියම කර තිබෙන නිසාත්, නුදුරු අනාගතයේ දී එය සිදුවෙන්නට උන් වහන්සේ සලසන නිසාත් ය.</verse>
				<verse number="33">“දැන් ඉතින් පාරාවෝ, දක්ෂ, විචක්ෂණ මිනිසෙකු සොයා බලා, මිසර දේශයේ පරිපාලනය ඔහුට බාර දිය යුතු ය.</verse>
				<verse number="34">පාරාවෝ මෙය කළ පසු, රටට නිලධාරීන් පත් කොට, සශ්‍රීක අවුරුදු හත තුළ, ඉඩකඩම්වලින් පහෙන් පංගුවක බද්දක් අය කළ යුතු ය.</verse>
				<verse number="35">ඔවුන් ඒ සශ්‍රීක අවුරුදු හත තුළ ඇති වන සියලු ආහාර වර්ග එකතු කළ යුතු ය. තවද, ධාන්‍ය, පාරාවෝගේ පාලනය යටතේ ගබඩා කරමින්, ආහාර වර්ග නගරවල තබා ආරක්ෂා කළ යුතු ය.</verse>
				<verse number="36">මිසර දේශයේ ඇතිවෙන්නට යන සාගත අවුරුදු හත වළක්වාලීම සඳහා ඒ ආහාර රටේ ගබඩා කොට තැබුවහොත් සාගතයෙන් රට විනාශ නොවනු ඇතැ”යි කීවේ ය.</verse>
				<verse number="37">ඔහුගේ යෝජනාව පාරාවෝට ද ඔහුගේ නිලධාරීන් සියල්ලන්ට ද සතුටුදායක විය.</verse>
				<verse number="38">එවිට පාරාවෝ තම නිලධාරීන් අමතා, “තමන් තුළ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වැඩසිටින මෙබඳු කෙනෙකු අපට තවත් සොයාගත හැකි දැ”යි ඇසී ය.</verse>
				<verse number="39">මෙසේ විචාරා, ඔහු ජෝසෙප්ට කතා කොට, “දෙවියන් වහන්සේ මේ සියල්ල ඔබට පෙන්වා වදාළ හෙයින් ඔබ වැනි බුද්ධිමත්, දක්ෂ විචක්ෂණ තව කෙනෙක් නම් නැත.</verse>
				<verse number="40">මගේ රටේ පාලනය මම ඔබට බාර දෙමි. මාගේ සෙනඟ සියලු දෙනා ම ඔබේ කීම අනුව පාලනය කරනු ලබති. මා ඔබට වඩා උසස් වන්නේ හුදෙක් රාජ ධූරයෙන් පමණකි.</verse>
				<verse number="41">බලන්න, මුළු මිසර දේශාධිපති කොට මම ඔබ පත් කරමි”යි කියා,</verse>
				<verse number="42">ඔහු තම ඇඟිල්ලෙන් පේරැස් මුදුව ගලවා, ජෝසෙප්ගේ ඇඟිල්ලෙහි දමා, අගනා සිනිඳු වස්ත්‍ර ඔහුට හඳවා, ඔහු ගෙල රන් මාලයක් පැළඳ විය.</verse>
				<verse number="43">පසුව පාරාවෝ තමා සතු දෙ වන රාජකීය රථයේ ඔහු නංවාලී ය. රාජකීය මුර බළ ඇණිය, “දණ නමව්” කියා කෑගසමින් පෙරටුව ගියහ. මෙසේ පාරාවෝ මුළු මිසර දේශාධිපති කොට ඔහු පත් කෙළේ ය.</verse>
				<verse number="44">තවද, ඔහු ජෝසෙප් අමතමින්, “මම පාරාවෝ වෙමි, එහෙත් ඔබේ අවසරය නැති ව, මුළු මිසර දේශයෙහි කිසිවෙකු අත වත්, පය වත් නොසෙල්විය යුතු ය”යි කීවේ ය.</verse>
				<verse number="45">ඔහු ජෝසෙප්ට ශාපේනත්-පනේයා යන නම තබා, ඕන් යන පූජාස්ථානයේ පූජක වන පොතිපෙරාගේ දුව වන ආසෙනත් ඔහුට බිරිඳ කොට සරණ පාවා දුන්නේ ය. ජෝසෙප් ද මුළු මිසර දේශය පුරා නිල චාරිකාවක යෙදුණේ ය.</verse>
				<verse number="46">මිසරයේ රජ වන පාරාවෝගේ සේවයට ජෝසෙප් බැඳෙන විට ඔහුට වයස අවුරුදු තිහකි. ඔහු පාරාවෝ ඉදිරියෙන් නික්ම මුළු මිසර දේශය පුරා නිල චාරිකාවක යෙදිණි.</verse>
				<verse number="47">සමෘද්ධිමත් වූ අවුරුදු හත තුළ භූමිය ද සුවිශාල අස්වැන්නක් නිපදවිය.</verse>
				<verse number="48">ඔහු සත් අවුරුද්ද තුළ මිසර දේශයෙහි වූ සියලු ආහාර වර්ග රැස් කොට, ඒවා නගරවල ගබඩා කෙළේ ය. සෑම නගරයක් අවට තිබූ ආහාර ද ඔහු එලෙස ම ගබඩා කොට තැබී ය.</verse>
				<verse number="49">ඇරත්, ඔහු මුහුදේ වැලි මෙන් විශාල ප්‍රමාණයකට ධාන්‍ය රැස් කෙළේ ය. ධාන්‍ය මැනීමට බැරි තරම් අධික වූයෙන් ඔහු ඒවා මැනීම නතර කෙළේ ය.</verse>
				<verse number="50">ඕන් නම් පූජාස්ථානයේ පූජක වන පොතිපෙරාගේ දුව වන ආසෙනත් සාගත කාලය පැමිණෙන්නට පෙර ජෝසෙප්ට දාව පුත්‍රයන් දෙදෙනෙකු ලැබුවා ය.</verse>
				<verse number="51">“දෙවියන් වහන්සේ මාගේ සියලු දුක් කරදර සහ මාගේ පියාගේ මුළු පවුල ද අමතක කිරීමට මට සැලැසූ සේකැ”යි කියා ඔහු තම කුලුඳුල් පුතුට මනස්සේ යන නාමය දුනි.</verse>
				<verse number="52">“දෙවියන් වහන්සේ අපල දේශයේ දී මා සඵල කළ සේකැ”යි කියා ඔහු දෙවැන්නාට එප්‍රායිම් යන නම තැබී ය.</verse>
				<verse number="53">තවද, මිසර දේශයෙහි පැවති සමෘද්ධිමත් අවුරුදු හත කෙළවර විය.</verse>
				<verse number="54">ජෝසෙප් කී පරිදි සාගත අවුරුදු හත පැමිණෙන්න පටන්ගති. සාගතය සියලු රටවල ම පැවතිණි. එහෙත්, මුළු මිසර දේශය තුළ ම ආහාර තිබුණේ ය.</verse>
				<verse number="55">මුළු මිසර දේශය ම සාගතයෙන් පෙළුණ විට, සෙනඟ ද ආහාර ඉල්ලා පාරාවෝට මොරගැසූ හ. පාරාවෝ ද සියලු මිසර වාසීන්ට කතා කොට, “ජෝසෙප් වෙත යන්න, ඔහු නුඹලාට කියන දෙයක් කරන්නැ”යි කී ය.</verse>
				<verse number="56">සාගතය ද මුළු පොළෝ තලය පුරා පැවතිණි. ජෝසෙප් ගබඩා සියල්ල විවෘත කොට, මිසර වාසීන්ට ධාන්‍ය වික්කේ ය. මුළු මිසර දේශය තුළ සාගතය තදින් බලපෑවේ ය.</verse>
				<verse number="57">ධාන්‍ය මිලට ගැනීම සඳහා සෑම රටවලින් ම සෙනඟ ජෝසෙප් වෙත මිසර දේශයට ගලා එන්නට වූ හ. සෑම රටක ම සාගතය දරුණු ලෙස පැවතිණි.</verse>
			</chapter>
			<chapter number="42">
				<verse number="1">මිසරයෙහි ධාන්‍ය තිබෙන බව ඇසූ ජාකොබ් තම පුතුන්ට කතා කොට, “නුඹලා එකිනෙකා දෙස බල බලා නිකම් ඉන්නේ මන් ද?</verse>
				<verse number="2">බලන්න, මිසරයෙහි ධාන්‍ය තිබෙන බව මා අසා ඇත. නුඹලා එහි ගොස්, අප නොමැරී ජීවත් වන පිණිස අපට ධාන්‍ය එහෙන් මිලයට ගන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="3">එවිට ජෝසෙප්ගේ සහෝදරයෝ දසදෙනා මිසරයේ ධාන්‍ය මිලයට ගනු පිණිස ගියහ.</verse>
				<verse number="4">එහෙත් ජාකොබ්, ජෝසෙප්ගේ සහෝදරයා වන බෙන්ජමින්ට ‘සමහරවිට අනතුරක් වේ ය’යි සිතා ඔහුගේ සහෝදරයන් සමඟ ඔහු නොහැරියේ ය.</verse>
				<verse number="5">මෙලෙස කානාන් දේශයේ ද සාගතය පැවතිණි, ධාන්‍ය මිලට ගැනීමට ආ අය අතර ඉශ්රායෙල්ගේ පුත්‍රයෝ ද වූ හ.</verse>
				<verse number="6">ජෝසෙප් රටේ අධිපති වූවාක් මෙන් ම, රටේ මිනිසුන් සියල්ලන්ට ම ධාන්‍ය විකුණුවේ ද ඔහු ය. ඔහුගේ සහෝදරයෝ පැමිණ, ඔහු ඉදිරියෙහි මුණින්තලා වී වැන්දා හ.</verse>
				<verse number="7">ජෝසෙප් ඔහුගේ සහෝදරයන් දැක, ඔවුන් හඳුනාගත් නමුත්, තමා නාඳුනන්නාක් මෙන් හඟවා, ඔවුන්ට තදින් කතා කරමින්, “නුඹලා ආවේ කිනම් රටකින් දැ”යි ඇසී ය. “ආහාර මිලට ගනු පිණිස කානාන් දේශයෙන් ය”යි ඔව්හු කී හ.</verse>
				<verse number="8">ජෝසෙප් තම සොහොයුරන් හැඳින ගත් නමුත්, ඔව්හු ඔහු හැඳින නොගත් හ.</verse>
				<verse number="9">ඔවුන් ගැන දුටු සිහින ද ඔහුට මතක් වී, ඔවුන්ට කතා කොට, “නුඹලා ඔත්තුකාරයෝ ය; නුඹලා පැමිණියේ රටේ දුබල තැන් බැලීමට ය”යි කීවේ ය.</verse>
				<verse number="10">එවිට ඔව්හු ඔහුට උත්තර දෙමින්, “නැත ස්වාමීනි, ඔබේ දාසයන් පැමිණියේ ආහාර මිලට ගැනීමට පමණ ය.</verse>
				<verse number="11">අපි සියල්ලෝ ම එක මිනිසෙකුගේ පුත්‍රයෝ වෙමු. අපි අවංක මිනිස්සු ය. ඔබේ දාසයෝ ඔත්තුකාරයෝ නොවෙති”යි කී හ.</verse>
				<verse number="12">එවිට ජෝසෙප් නැවතත් ඔවුන්ට කතා කරමින්, “එසේ නොවේ, නුඹලා ආවේ රටේ දුබල තැන් බලාගන්නට පමණ ය”යි කී ය.</verse>
				<verse number="13">ඔව්හු ද පිළිතුරු දෙමින්, “ඔබේ දාසයෝ වනාහි කානාන් දේශයේ එක ම මිනිසෙකුගේ පුත්‍රයන් වන සහෝදරයෝ දොළොස්දෙනෙකි. ඇත්තට ම බාල ම තැනැත්තා අද අපේ පියා සමඟ ය. එක් කෙනෙකු නම් ආගිය අතක් නැතැ”යි කී හ.</verse>
				<verse number="14">ජෝසෙප් ද නැවතත් ඔවුන් අමතමින්, “ ‘ නුඹලා ඔත්තුකාරයෝ ය’යි මා නුඹලාට කීවේ අන්න ඒ නිසයි.</verse>
				<verse number="15">නුඹලා කවුරු ද කියා මම පරීක්ෂා කර බලන්නට යමි. නුඹලාගේ බාල ම සහෝදරයා මෙහි එන තුරු නුඹලා මෙතැනින් නොයන්නහු ය යි පාරාවෝගේ නාමයෙන් දිවුරා කියමි.</verse>
				<verse number="16">නුඹලාගෙන් කෙනෙකු පිටත් කර හරින්න, ඔහු නුඹලාගේ සහෝදරයා කැඳවාගෙන ආ යුතු ය. තවද, නුඹලා අවංක අය ය යි කියන කීම පරීක්ෂා කර බලන තුරු නුඹලා හිරබාරයේ තබනු ලබන්නහු ය. එසේ නොවී නම්, නුඹලා ඔත්තුකාරයෝ ය කියා පාරාවෝගේ නාමයෙන් මම දිවුරා කියමි”යි පැවසී ය.</verse>
				<verse number="17">ඔහු ඔවුන් සියල්ලන් දින තුනක් ම හිරබාරයේ තැබී ය.</verse>
				<verse number="18">තුන් වන දින ජෝසෙප් ඔවුන්ට කතා කොට, “මම දෙවියන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇත්තෙක්මි. එබැවින් නුඹලා පණ බේරාගන්න කැමැති නම් මෙසේ කරන්න;</verse>
				<verse number="19">නුඹලා අවංක අය නම්, සොහොයුරන් වන නුඹලාගෙන් කෙනෙකු, මේ සිරගෙයි සිර අඩස්සියේ තබා අනෙක් අය නුඹලාගේ පවුල්වල ඇති සාගතය සඳහා ධාන්‍ය රැගෙන යන්න.</verse>
				<verse number="20">එහෙත්, බාල ම සහෝදරයා මා වෙත ගෙනා යුතු ය. මෙලෙස නුඹලා ඇත්ත කී බව ඔප්පු වීමෙන් මරණයෙන් බේරෙන්නහු ය”යි කී ය. ඔව්හු ද ඊට එකඟ වූ හ.</verse>
				<verse number="21">ඉන්පසු ඔව්හු එකිනෙකා අමතමින්, “අපි ඇත්තෙන් ම අපගේ සහෝදරයාට කළ දේ ගැන වරදකරුවෝ වෙමු. ඒ මන්ද, ඔහු අපට කන්නලව් කරද්දී ඔහුගේ වේදනාව දැක දැකත්, අපි ඇහුම්කන් නුදුන්නෙමු. මේ විපත අපට පැමිණියේ ඒ නිසා ම ය”යි කීවෝ ය.</verse>
				<verse number="22">එවිට රූබන් පිළිතුරු දෙමින්, “ ‘ළමයාට විරුද්ධ ව පව් නොකරන්න,’ කියා මා ඔබට කීවා නොවේ ද? එහෙත්, ඔබ ඇහුම්කන් නුදුන්නහු ය. එබැවින්, මෙන්න, ඔහුගේ ලේ ගැන අප දැන් වන්දි ගෙවිය යුතු ය”යි කී ය.</verse>
				<verse number="23">ඔවුන් කී දේ ජෝසෙප් තේරුම් ගත් බව ඔව්හු දැන නොගත්හ. මන්ද, ඔහු ඔවුන්ට කතා කෙළේ තෝල්කයෙකු මඟින් බැවිනි.</verse>
				<verse number="24">ඔහු ද ඔවුන්ගෙන් ඉවතට ගොස් හැඬී ය. පසුව යළි ඔවුන් වෙත පැමිණ ඔවුන් සමඟ කතා කොට, ඔවුන් අතරෙන් සිමියොන් රැගෙන, ඔවුන් ඉදිරිපිට ම ඔහු බැන්දේ ය.</verse>
				<verse number="25">ඉන්පසු ජෝසෙප්, ඔවුන්ගේ ගෝණි ධාන්‍යයෙන් පුරවා, සැම දෙනාගේ ම මුදල් එකිනෙකාගේ ගෝණිවල දැමීමටත්, ගමනට උවමනා ආහාර ඔවුන්ට දීමටත් අණ කෙළෙන්, ඔවුන්ට එලෙස කරන ලදී.</verse>
				<verse number="26">ඔව්හු කොටළුවන් පිට ධාන්‍ය පටවාගෙන එතැනින් නික්ම ගියහ.</verse>
				<verse number="27">රාත්‍රියේ නැවතුම් පොළේ දී ඔවුන්ගෙන් කෙනෙක් තම කොටළුවාට කෑම දෙන පිණිස තම ගෝණිය හැරිය විට, තමාගේ මුදල් ගෝණි කටේ තිබෙනු දිටී ය.</verse>
				<verse number="28">එවිට ඔහු තම සොහොයුරන්ට කතා කොට, “මාගේ මුදල් ආපසු දමා ඇත. බලන්න, එය මාගේ ගෝණිය තුළ ය”යි කී විට, ඔවුන්ගේ සිත් වියවුල් වී, ඔව්හු බියෙන් එකිනෙකා අමතමින්, “දෙවියන් වහන්සේ අපට කළ මේ දේ කුමක් දැ”යි කියන්නට වූ හ.</verse>
				<verse number="29">ඔව්හු කානාන් දේශයේ තම පියා වන ජාකොබ් වෙත පැමිණ තමන්ට සිදුවූ සියල්ල ම ඔහුට දන්වමින්,</verse>
				<verse number="30">“දේශාධිපතියා වූ තැනැත්තා අපට තදින් කතා කොට ඒ රටේ ඔත්තුකාරයන් ලෙස අප සැලකී ය.</verse>
				<verse number="31">අපි ද ඔහු අමතා, අප අවංක අය බවත්, ඔත්තුකාරයන් නොවන බවත් කීවෙමු.</verse>
				<verse number="32">ඇරත් අපි එක ම පියෙකුගේ පුතුන් වන සහෝදරයන් දොළොස්දෙනෙකුන් බවත්, එක් කෙනෙකු නැති බවත්, බාලයා දැන් කානාන් දේශයේ අපගේ පියා සමඟ සිටින බවත් කීවෙමු.</verse>
				<verse number="33">එවිට දේශාධිපතියා වූ ඒ මනුෂ්‍යයා අපට කතා කොට, ‘නුඹලා අවංක අය බව මෙයින් දැනගන්නෙමි. එනම්, නුඹලාගේ සහෝදරයන්ගෙන් කෙනෙකු මා ළඟ නවත්වා නුඹලාගේ පවුල්වල සාගතය සඳහා ආහාර රැගෙන පිටතට යන්න.</verse>
				<verse number="34">තවද, නුඹලාගේ බාල ම සහෝදරයා මා වෙත ගෙනෙන්න; මෙයින් නුඹලා ඔත්තුකාරයන් නොවන බවත්, අවංක මිනිසුන් බවත් මම දැනගන්නෙමි. එවිට නුඹලාගේ සහෝදරයා ආපසු මම නුඹලාට දෙන්නෙමි. නුඹලාට ද රටේ වෙළහෙළඳාම් කළ හැකි ය’ කියා කීවේ ය”යි සැළ කළහ.</verse>
				<verse number="35">ඔව්හු තමන්ගේ ගෝණි හිස් කළ විට, එකිනෙකාගේ මුදල් පොදිය ඒ ඒ අයගේ ගෝණියේ තිබෙනු දුට හ. ඔව්හු ද, ඔවුන්ගේ පියා ද මුදල් පොදි දුටු විට බිය වූ හ.</verse>
				<verse number="36">එවිට ඔවුන්ගේ පියා වන ජාකොබ් ඔවුන් අමතමින්, “නුඹලා දරුවන්ගෙන් මා වියෝ කළහු ය. ජෝසෙප් දැන් නැත. සිමියොන් ද නැත, බෙන්ජමින් ද රැගෙන යෑම නුඹලාට උවමනා වී තිබේ. මේ සියලු දුක් විඳින්නා මම ය”යි කීවේ ය.</verse>
				<verse number="37">එවිට රූබන් තම පියාට කතා කොට, “ඔබ වෙත මා ඔහු ආපසු නොගෙනාවොත්, මාගේ දරුවන් දෙදෙන මරාදමන්න; මට ඔහු බාර දෙන්න: මම ආපසු ඔහු ඔබ වෙත ගෙනෙන්නෙමි”යි කීවේ ය.</verse>
				<verse number="38">ජාකොබ් එවිට පිළිතුරු දෙමින්, “නුඹලා සමඟ මාගේ පුත්‍රයා නම් නොයනු ඇත, ඒ මන්ද, ඔහුගේ සහෝදරයා මළ පසු, ඉතිරි වී ඇත්තේ ඔහු පමණ යි. නුඹලා යන අතරමඟ දී ඔහුට අනතුරක් සිදු වුණොත් වයස් ගත මට දුක් පමුණුවා, නුඹලා මා මරාදමන්නහු ය”යි කීවේ ය.</verse>
			</chapter>
			<chapter number="43">
				<verse number="1">සාගතය රටේ තදබල විය.</verse>
				<verse number="2">මිසරයෙන් ගෙනා ධාන්‍ය කා නිම කළ පසු, ඔවුන්ගේ පියා ඔවුන්ට කතා කොට, “නැවත ගොස් කෑම ටිකක් අපට මිලයට ගන්නැ”යි කී ය.</verse>
				<verse number="3">එවිට ජුදා ඔහු අමතා, “ ‘නුඹලාගේ සහෝදරයා නුඹලා සමඟ සිටියොත් මිස නුඹලා නම් මා ඉදිරියට නොපැමිණිය යුතු ය’යි ඒ මිනිසා අපට තදින් අවවාද කෙළේ ය.</verse>
				<verse number="4">ඔබ අපේ සහෝදරයා අප සමඟ යවන්නෙහි නම්, අපි ගොස් ඔබට ආහාර මිලයට ගන්නෙමු.</verse>
				<verse number="5">එහෙත් ඔබ ඔහු යවන්නේ නැත්නම්, අපි ද නොයන්නෙමු. ඒ මන්ද, ‘නුඹලාගේ සහෝදරයා නුඹලා සමඟ නැත්නම් නුඹලා මා ඉදිරියට නොපැමිණිය යුතු ය’යි ඒ මිනිසා අපට කීවේ ය”යි පැවසී ය.</verse>
				<verse number="6">එවිට ඉශ්රායෙල් කතා කොට, “නුඹලාට ‘තව සහෝදරයෙකු ඇතැ’යි කීමෙන් මට වද කරන්නේ මන්දැ”යි ඇසී ය.</verse>
				<verse number="7">ඔව්හු ද පිළිතුරු දෙමින්, “ ‘නුඹලාගේ පියා තව ම ජීවත් ව සිටිනවා ද? නුඹලාට තව සහෝදරයෙක් ඉන්නවා ද?’ කියා මිනිසා අප ගැනත්, අපේ පවුල ගැනත් දිගට ම අසන විට අපි ද ඒ ප්‍රශ්න අනුව උත්තර දුනිමු. ‘නුඹලාගේ සහෝදරයා ගෙන ආ යුතු’යි කියන්න යන බව අප දන්නේ කෙසේ දැ”යි ඇසූ හ.</verse>
				<verse number="8">ජුදා තම පියා වන ඉශ්රායෙල්ට කතා කොට, “ළමයා මා සමඟ යවන්න, එවිට අපත්, ඔබත්, අපේ කුඩා දරුවනුත් නොමැරී ජීවත් වන පිණිස අපි නැඟිට පිටත් ව යන්නෙමු.</verse>
				<verse number="9">මම ඔහු ගැන ඇපකාරයෙක් වෙමි. ඔහු ගැන වගකීම මා පිට පවරන්න. මම ඔබ වෙත ඔහු ගෙනවුත් ඔබ ඉදිරියෙහි ඔහු නොසිටුවන්නෙම් නම්, සදහට ම ඒ ගැන මම වරදකරු වන්නෙමි.</verse>
				<verse number="10">අපි මෙහි නළංගු වී නොසිටියෙමු නම් ඇත්තෙන් ම දෙ වන වරටත් ගොස් ආපසු එන්න තිබුණි”යි කී ය.</verse>
				<verse number="11">එවිට ඔවුන්ගේ පියා වන ඉශ්රායෙල්, එනම් ජාකොබ්, ඔවුන් අමතමින්, “දැන් ඉතින් එලෙස විය යුතු ම නම්, මෙය ද කරන්න; අපේ රටේ ඇති ඉස්තරම් දේවල් වන ගුගුල් ටිකක් හා මී පැණි ටිකක් ද කුළු බඩු හා ගන්ධරස ද ඇට වර්ග හා කොට්ටම්බා ද ඔබේ පොදිවල දමාගෙන ඒ මිනිසාට තෑග්ගක් වශයෙන් ගෙන යන්න.</verse>
				<verse number="12">තවද, මුදල් දෙගුණයක් අතේ ගෙන යන්න; නුඹලාගේ ගෝණිවල කටේ තිබුණු මුදල් ද අතේ රැගෙන යන්න; ඇතැම් විට එය ප්‍රමාද දෝෂයකින් වූවක් වෙන්න පුළුවන.</verse>
				<verse number="13">නුඹලාගේ සොහොයුරු රැගෙන, නැඟිට ඒ මිනිසා වෙත ආපසු යන්න;</verse>
				<verse number="14">තවද, ඒ මිනිසා නුඹලාගේ අනෙක් සහෝදරයා ද බෙන්ජමින් ද ආපසු එවන ලෙස, සියලු බලැති දෙවියන් වහන්සේ ඔහු හමුවෙහි නුඹලා හට ප්‍රසාදය ලැබෙන්නට සලසන සේක් වා! මාගේ දරුවන් නැතිවෙනවා නම් ඔව්හු නැතිවෙත් වා!”යි කීවේ ය.</verse>
				<verse number="15">ඔව්හු තෑගි ගෙන, තමන්ගේ පසුම්බිවල මුදල් දෙගුණයක් ලාගෙන, බෙන්ජමින් ද රැගෙන, නැඟිට, මිසරය බලා ගොස් ජෝසෙප් ඉදිරියෙහි සිටගත්හ.</verse>
				<verse number="16">ජෝසෙප් ඔවුන් සමඟ බෙන්ජමින් සිටිනු දුටු විට, තම ගෘහයේ කළමනාකරුට කතා කොට, “මේ මිනිසුන් මාගේ ගෘහයට ගෙන යන්න; සතෙකු මරා පිළියෙළ කරන්න; මාගේ ගෘහයේ ඔවුන් මා සමඟ දිවා භෝජනය වළඳනු ඇතැ”යි කීවේ ය.</verse>
				<verse number="17">ඔහු ජෝසෙප් කී ප්‍රකාර කර ජෝසෙප්ගේ ගෘහයට ඔවුන් කැඳවාගෙන ආවේ ය.</verse>
				<verse number="18">ජෝසෙප්ගේ ගෘහයට ඔවුන් ගෙනා බැවින්, ඔව්හු බිය වී, “අප මෙහි ගෙනාවේ පළමු වර අප ගෝණිවල ආපසු දමා තිබූ මුදල් නිසා ය, ඔහු අපට අඩන්තේට්ටම් කොට පහර දී, අප වහලුන් කොට, අපේ කොටළුවන් ද ගන්නට යන්නේ ය”යි කී හ.</verse>
				<verse number="19">පසුව ඔව්හු ජෝසෙප්ගේ ගෘහයේ කළමනාකරු වෙත පැමිණ, ගෙදර දොර අසල ඔහු සමඟ කතා කරමින්,</verse>
				<verse number="20">“මහතාණෙනි, පළමු වරක් ද ආහාර මිලට ගැනීම සඳහා අපි ඇත්තෙන් ම පැමිණියෙමු.</verse>
				<verse number="21">අප නැවතුම් පොළට පැමිණ අපේ ගෝණි ඇරිය විට සෑම මිනිසෙකුගේ ම මුදල්, හරි කිරුම් බරට ගෝණි කටේ තිබෙනු අපි දුටුවෙමු. අපි ද එය නැවත ගෙනාවෙමු.</verse>
				<verse number="22">ඇරත් ආහාර මිලට ගැනීම සඳහා තවත් මුදල් ද අප අතේ ගෙනාවෙමු. අපගේ ගෝණිවල මුදල් දැමුවේ කවුද කියා නොදනිමු”යි කී හ.</verse>
				<verse number="23">එවිට ඔහු උත්තර දෙමින්, “ඔබට ආසිරි වේ වා! බිය නොවන්න, ඔබේ දෙවියන් වහන්සේ ද, ඔබේ පියාගේ දෙවියන් වහන්සේ ද, ඔබේ ගෝණිවල ඔබට නිධානයක් දුන් සේක. ඔබේ මුදල් මට ලැබුණේ ය”යි කී ය. ඉන්පසු ඔහු සිමියොන් ඔවුන් වෙත කැඳවාගෙන ආවේ ය.</verse>
				<verse number="24">පසුව ඔහු, ඔවුන් ජෝසෙප්ගේ ගෘහයට ගෙනැවිත්, ඔවුන්ට වතුර දුන් විට ඔව්හු තමන් පාද සෝදාගත්හ. ඉන්පසු ඔහු ඔවුන්ගේ කොටළුවන්ට ආහාර දුනි.</verse>
				<verse number="25">එම ගෘහයෙහි තමන් ආහාර වැළඳිය යුතු බව ඔවුන් අසා තිබුණෙන්, මද්දහනේ දී ජෝසෙප් එන විට තෑග්ග දීමට ඔව්හු සූදානම් වූ හ.</verse>
				<verse number="26">ජෝසෙප් ගෘහයට පැමිණි විට ඔව්හු තමන් ළඟ තිබූ තෑග්ග ඔහුට පිරිනමමින් බිමට නැමී වැන්දා හ.</verse>
				<verse number="27">ඔහු ඔවුන්ගේ සුවදුක් අසමින්, “නුඹලා කී මහලු පියාගේ සැපසනීප කොහොම ද? ඔහු තව ම ජීවත් ව සිටී දැ”යි විමසී ය.</verse>
				<verse number="28">ඔව්හු ද පිළිතුරු දෙමින්, “ඔබේ දාසයා වූ අපේ පියා හොඳ සනීපයෙන් සිටී; ඔහු තව ම ජීවත් ව සිටින්නේ ය”යි කියා හිස පහත් කොට නමස්කාර කළහ.</verse>
				<verse number="29">ජෝසෙප් හිස ඔසවා බැලූ කල තම මවගේ පුත්‍රයා වන, තම සහෝදර බෙන්ජමින් දැක, “නුඹලා මට කී නුඹලාගේ බාල ම සහෝදරයා මොහු දැ”යි අසා, “මා පුත, ඔබට දෙවි සරණ ලැබේ වා!”යි කීවේ ය.</verse>
				<verse number="30">තම සහෝදරයා කෙරෙහි ජෝසෙප්ගේ සිත කම්පා වී, තම නෙත් කඳුළින් පිරී ගියනේ, ඔහු වහා පිටත ගොස්, තම කාමරයට ඇතුළු වී, හඬන්නට විය.</verse>
				<verse number="31">පසුව ඔහු මුහුණ සෝදාගෙන, පිටතට අවුත් තමා ම හික්මවා ගනිමින්, “කෑම මේසය පිළියෙළ කරන්නැ”යි කී ය.</verse>
				<verse number="32">සේවකයෝ ජෝසෙප්ට වෙන ම මේසයක් ද ඔහුගේ සහෝදරයන්ට වෙන ම මේසයක් ද ඔහු සමඟ වැළඳූ මිසර වාසීන්ට වෙන ම මේසයක් ද පිළියෙළ කළහ. මන්ද, මිසර වැසියන් හෙබ්‍රේව්වරුන් සමඟ කෑම නොකන බැවිනි. එසේ කළොත් මිසර වැසියන්ට එය පිළිකුලකි.</verse>
				<verse number="33">ජෝසෙප්ගේ සහෝදරයෝ ද ඔහුට මූණ ලා, වැඩිමලා පටන් බාලයා දක්වා වයස් අනුව පිළිවෙළට වාඩි කරවන ලදහ. ඔව්හු විස්මිත වී එකිනෙකා දෙස බැලූ හ.</verse>
				<verse number="34">පසුව ජෝසෙප් තම මේසයෙන් ඔවුන් එකිනෙකාට ආහාර යැව්වේ ය. එහෙත්, බෙන්ජමින්ගේ කොටස අනික් අයගේ කොටස් මෙන් පස් ගුණයක් විය. ඔව්හු ද ඔහු සමඟ බීම පානය කොට ප්‍රීති ප්‍රමෝද වූ හ.</verse>
			</chapter>
			<chapter number="44">
				<verse number="1">ජෝසෙප් තම ගෘහයේ කළමනාකරුට කතා කොට, “මොවුන්ගේ ගෝණි මොවුන්ට උසුලාගෙන යන්න හැකිතරම් ආහාරවලින් පුරවා, එකිනෙකාගේ මුදල් ඒ ඒ අයගේ ගෝණි කටේ දමන්න.</verse>
				<verse number="2">තවද, මාගේ කුසලාන එනම් මාගේ රිදී කුසලාන, බාලයාට අයිති ගෝණියේ කටේ ඔහු ධාන්‍යවලට ගෙවූ මුදලත් සමඟ දමන්නැ”යි අණ කෙළේ ය. ඔහු ද ජෝසෙප් කී හැටියට ම ඉටු කෙළේ ය.</verse>
				<verse number="3">උදය පහන් වූ කල ජෝසෙප්ගේ සහෝදරයෝ ඔවුන්ගේ කොටළුවන් සමඟ පිටත් කර හරින ලදහ.</verse>
				<verse number="4">මොවුන් නගරයෙන් පිටතට ගොස්, වැඩි දුරක් යන්නට ප්‍රථම, ජෝසෙප් තම කළමනාකරුට කතා කොට, “නැඟිට අර මිනිසුන් ලුහුබැඳ යන්න, නුඹට ඔවුන් හමු වූ කල ඔවුන්ට කතා කොට, ‘හොඳක් කළා ම නරකක් කෙළේ මන් ද? නුඹලා මාගේ රිදී කුසලාන සොරකම් කෙළේ ඇයි?</verse>
				<verse number="5">මාගේ ස්වාමියා පානය කරන්නටත්, දිවැස් කියන්නටත් භාවිත කරන්නේ මෙය නොවේ ද? මෙසේ කිරීමෙන් නුඹලා කර ඇත්තේ දුෂ්ටකමකි’ කියා කියන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="6">කළමනාකරු ඔවුන් හමු වූ විට එසේ ම කී ය.</verse>
				<verse number="7">එවිට ඔව්හු ඔහුට කතා කොට, “ස්වාමීනි, ඔබ මෙසේ කීමෙන් අදහස් කරන්නේ කුමක් ද? මෙවැන්නක් කිරීමට ඔබේ දාසයන් හීනෙන් වත් සිතන්නේ නැත.</verse>
				<verse number="8">බලන්න, අපේ ගෝණි කටේ තිබී සම්බ වූ මුදල් ද කානාන් දේශයේ සිට නැවත ඔබ වෙත අපි ගෙනාවෙමු. එසේ නම් ඔබ ස්වාමියාගේ ගෘහයෙන් රිදී හෝ රත්රන් හෝ අප සොරකම් කරන්නේ කොහොම ද?</verse>
				<verse number="9">ඔබගේ දාසයන් අතර යම් කෙනෙකු ළඟ තිබී එය සොයාගතහොත් ඔහු මැරුණා වේ! අපි ද අප ස්වාමීන්ගේ වහල්ලු වන්නෙමු”යි කී හ.</verse>
				<verse number="10">ඔහු පිළිතුරු දෙමින්, “හොඳයි, නුඹලා කී ලෙස ඉටු වේ වා! කවුරුන් හෝ ළඟ තිබී එය සම්බවුවහොත් ඔහු මාගේ වහලා වන්නේ ය; නුඹලා නිදහස් වන්නහු ය”යි කීවේ ය.</verse>
				<verse number="11">එවිට ඔව්හු කඩිනම් කොට එකිනෙකා තම තමාගේ ගෝණි බිමට බා, තම තමාගේ ගෝණි ඇරියෝ ය.</verse>
				<verse number="12">ඔහු ද වැඩිමලාගෙන් පටන්ගෙන බාලයා දක්වා ඒවා අවුස්සා බැලූ විට බෙන්ජමින්ගේ ගෝණියේ තිබී කුසලාන සම්බ විය.</verse>
				<verse number="13">එවිට ඔව්හු දුකින් තම වස්ත්‍ර ඉරාගෙන, තම තමන් කොටළුවන් පිට බඩු පටවාගෙන ආපසු නගරය බලා පැමිණියෝ ය.</verse>
				<verse number="14">මෙසේ ජුදා සහ ඔහුගේ සහෝදරයන් ජෝසෙප්ගේ ගෘහයට ආපසු පැමිණි විට ජෝසෙප් එතෙක් එහි සිටියෙන්, ඔව්හු ඔහු ඉදිරියෙහි බිම වැටී වැන්දා හ.</verse>
				<verse number="15">ඔහු ඔවුන් අමතමින්, “නුඹලා කළ මේ දේ කුමක් ද? මා වැනි කෙනෙකුට ඇත්තෙන් ම දිවැස් කීමට හැකි බව නුඹලා නොදන්නහු දැ”යි ඇසී ය.</verse>
				<verse number="16">එවිට ජුදා කතා කොට, “මාගේ ස්වාමීන් හට අප කුමන පිළිතුරක් දෙන්න ද? අප කුමක් කියන්න ද? අපි කෙසේ නම් මේ ගැන නිදොස් වමු ද? දෙවියන් වහන්සේ ඔබේ දාසයන්ගේ දුෂ්ටකම මතුකර පෙනෙන්නට සැලැසූ සේක. මෙන්න, තමා ළඟ කුසලාන තිබී සම්බ වූ තැනැත්තාත් අපිත්, මාගේ ස්වාමීන්ගේ වහල්ලු වන්නෙමු”යි කීවේ ය.</verse>
				<verse number="17">ජෝසෙප් එවිට උත්තර දෙමින්, “එසේ නො වේ වා! මම එවැන්නක් නොකරමි. එහෙත්, යමෙකු ළඟ තිබී කුසලාන සම්බ වූයේ ද ඔහු පමණක් මාගේ වහලා වන්නේ ය. නුඹලා සැම දෙන නැඟිට නුඹලාගේ පියා වෙත සාමදානයෙන් යන්නැ”යි කී ය.</verse>
				<verse number="18">එවිට ජුදා ජෝසෙප් ළඟට පැමිණ, “මාගේ ස්වාමීනි, කරුණාකර, ඔබට පොද්ගලික ව වචනයක් කීමට ඔබේ දාසයාට අවසර දෙනු මැනව. ඔබේ දාසයාට විරුද්ධ ව ඔබේ කෝපය නොඇවිලේ වා! ඔබ ඇත්තෙන් ම පාරාවෝ හා සමාන ය.</verse>
				<verse number="19">‘නුඹලාට පියෙක් හෝ සහෝදරයෙක් හෝ සිටී දැ’යි මාගේ ස්වාමීන් වන ඔබ දාසයන් වන අපෙන් ඇසුවෙහි ය.</verse>
				<verse number="20">අපි මාගේ ස්වාමීන් අමතා, ‘මහලු වියේ සිටින පියෙක් ද මහලු වියේ ඔහු ලැබූ කුඩා ළමයෙක් ද අපට ඇත. ඔහුගේ සහෝදරයා මළේ ය. මවගේ දරුවන්ගෙන් ඉතිරි ව ඇත්තේ ඔහු පමණ යි, ඔහුගේ පියා ද ඔහුට ප්‍රේම කරයි’ කියා කීවෙමු.</verse>
				<verse number="21">එවිට ඔබ ඔබේ දාසයන් අමතා, ‘මට ඔහු බලා දැකගන්න පිණිස ඔහු ගෙනෙන්නැ’යි කීවෙහි ය.</verse>
				<verse number="22">අපි එවිට, ‘ළමයාට නම් පියා අත්හැර එන්න බැරි ය; පියාගෙන් ඔහු වියෝ වී ආවොත් පියා මැරේවි’ කියා කීවෙමු.</verse>
				<verse number="23">ඔබ එවිට ඔබේ දාසයන් අමතා, ‘නුඹලාගේ බාල සහෝදරයා නුඹලා සමඟ ආවොත් මිස මින්පසු නුඹලා මා ඉදිරියට නො ආ යුතුය’යි කීවෙහි ය.</verse>
				<verse number="24">“තවද, අපි ඔබේ දාසයා වන මාගේ පියා වෙත පැමිණි විට, මාගේ ස්වාමියා කී දේ ඔහුට සැළ කෙළෙමු.</verse>
				<verse number="25">අපගේ පියා, ‘නැවත ගොස් කෑම ටිකක් අපට මිලයට ගන්න ය’යි කීවේ ය.</verse>
				<verse number="26">එවිට අපි, ‘අපට නම් යන්න බැරි ය; අපේ බාල ම සහෝදරයා අප සමඟ යතොත් නම් අපි යමු; මන්ද, අපේ බාල ම සහෝදරයා අප සමඟ නැත්නම් අප අධිපති තැන ඉදිරියට නොයා යුතු ය’යි කීවෙමු.</verse>
				<verse number="27">එවිට ඔබේ දාසයා වන මාගේ පියා අපට කතා කොට, ‘මාගේ බිරිඳ මට දාව පුත්‍රයන් දෙදෙනෙකු බිහි කළ බව නුඹලා දන්නහු ය.</verse>
				<verse number="28">එක් කෙනෙකු මාගෙන් වියෝ වී ගිය විට, ඇත්තෙන් ම සතෙකු ඔහු කෑලි කෑලිවලට ඉරාදමා ඇතැ යි මම කීවෙමි. මන්ද, එවක් පටන් මම ඔහු නුදුටිමි.</verse>
				<verse number="29">ඔබ මොහු වත් මාගෙන් රැගෙන ගොස් මොහුට අනතුරක් වූයේ නම්, නුඹලා මා පැසුණු හිසකේ එක්ක වළපල්ලට අරින්නට හදන්නහු දැ’යි කී ය.</verse>
				<verse number="30">දැන් ඉතින් ඔබේ දාසයා වන මාගේ පියා වෙත මා පැමිණි විට අප සමඟ ළමයා නැත්නම්, ඔහුගේ පණ කෙන්ද ළමයාගේ පණ කෙන්ද සමඟ වෙළී පවතින බව මට පෙනෙන නිසා,</verse>
				<verse number="31">අප සමඟ ළමයා නැති බව ඔහු දැක ඔහු නසින්නේ ය. මෙලෙස ඔබේ දාසයෝ ද ඔබ දාසයා වන අපේ මහලු පියාට දුක් දී, මරණයට පත් කරන්නෝ ය.</verse>
				<verse number="32">ඔබේ දාසයා වන මම, ‘ඔහු ඔබ වෙත නො ගෙනාවොත් ඒ වරද, මාගේ පියා ඉදිරියෙහි මම සදහට ම බාර ගන්නෙමි’ කියා මාගේ පියාට ළමයාගේ ඇපකරු වූයෙමි.</verse>
				<verse number="33">දැන් ඉතින්, මාගේ ස්වාමීන් වෙත ළමයා වෙනුවට මේ ඔබේ දාසයා වහලෙකු මෙන් සිටින්නේ ය. කරුණාකර, ළමයාට ඔහුගේ සහෝදරයන් සමඟ යන්න ඉඩ හරිනු මැනවි.</verse>
				<verse number="34">ළමයා මා සමඟ නැති ව මම කෙසේ නම් මාගේ පියා වෙතට යන්නෙම් ද? මාගේ පියාට පැමිණෙන්නට යන විපත මාගේ ඇස්වලින් බලන්න බැරි ය”යි කීවේ ය.</verse>
			</chapter>
			<chapter number="45">
				<verse number="1">එවිට ජෝසෙප්ට තමා ළඟ සිටි පිරිවර ඉදිරියේ තමන් සිත වාවාගත නොහැකි වී, “සියල්ලන් ම මා වෙතින් ඉවතට යන්න හරින්නැ”යි හඬනැඟුවේ ය. මෙසේ ජෝසෙප් ඔහුගේ සහෝදරයන්ට තමන් ම හඳුන්වා දෙන විට ඔහු සමඟ අන් කිසිවෙක් එහි නොසිටියේ ය.</verse>
				<verse number="2">ඔහු මහ හඬින් හැඬී ය. මිසර වාසීන්ට ද, පාරාවෝගේ රජ වාසල අයට ද එය ඇසිණි.</verse>
				<verse number="3">ජෝසෙප් ඔහුගේ සහෝදරයන් අමතමින්, “මම ජෝසෙප් ය. මාගේ පියා තව ම ජීවත් ව සිටී දැ”යි ඇසී ය. ඔහුගේ සහෝදරයන් ඔහු දැකීමෙන් තුෂ්ණීම්භූත ව සිටි හෙයින් ඔහුට උත්තර දීගන්නට ඔවුන්ට නොහැකි විය.</verse>
				<verse number="4">නැවත ජෝසෙප් තම සහෝදරයන් අමතා, “කරුණාකර, මා ළඟට එන්නැ”යි කී විට ඔවුන් ද ළං වූයෙන්, “ඔබ මිසර දේශයට විකුණූ ඔබේ සහෝදරයා වන ජෝසෙප් මම ය,</verse>
				<verse number="5">ඔබ මා මෙහි විකුණූ නිසා කරදර නො වන්න; නො තැවෙන්න. මන්ද, ඔබේ ජීවිතය රකිනු පිණිස ඔබට පෙරටුව දෙවියන් වහන්සේ මා මෙහි එවූ සේක.</verse>
				<verse number="6">මේ සාගතය රටේ පැවතෙන දෙ වන අවුරුද්ද ය; සීසෑමක් හෝ අස්වැන්න නෙළීමක් හෝ නැති අවුරුදු පහක් තව ඇත.</verse>
				<verse number="7">මිහි පිට ඔබට පෙළපතක් පවතින පිණිසත්, ඔබගෙන් බොහෝ දෙනෙකු ගළවා ඔබේ ජීවිත ආරක්ෂා කිරීමටත් දෙවියන් වහන්සේ ඔබට පෙරටුව මා එවූ සේක.</verse>
				<verse number="8">එබැවින් මා මෙහි එවූයේ ඇත්තෙන් ම ඔබ නොව දෙවියන් වහන්සේ ය. තවද, උන් වහන්සේ පාරාවෝ හට මා පියෙකු කොට, ඔහුගේ රජ වාසල මුදලිඳු වශයෙන් ද, මුළු මිසර දේශාධිපති වශයෙන් ද මා පත් කළ සේක.</verse>
				<verse number="9">“ඔබ සැම කඩිනම් කොට මා පියා වෙත ගොස් ඔහුට කතා කොට, ඔබේ පුත්‍රයා වන ජෝසෙප් මෙසේ පවසයි: ‘දෙවියන් වහන්සේ මුළු මිසරයේ අධිපති වශයෙන් මා පත් කළ සේක. පමා නොවී මා වෙත පැමිණෙන්න.</verse>
				<verse number="10">ඔබ, ගෝෂෙන් නම් පළාතේ පදිංචි වී, එහි ඔබ ද ඔබේ දරුවන් ද දරුවන්ගේ දරුවන් ද ඔබේ එළු බැටළු පට්ටි හා ගව පට්ටි ද ඔබ සතු සියල්ලන් ද මට කිට්ටුවෙන් සිටිය යුතු ය.</verse>
				<verse number="11">තව පස් අවුරුද්දක් සාගතය පවතින බැවින් ඔබත්, ඔබ ගෙවැසියනුත්, ඔබ සතු සියල්ලත් ආරක්ෂා කොට, ඔබට අගහිඟයක් නැති වන සේ මම එහි දී ඔබට සියල්ල ම සපයමි’යි කී ය.</verse>
				<verse number="12">තවද, ඔබට කතා කරන්නේ ජෝසෙප් ම බව ඔබ සැමගේ නෙත්වලටත්, මා සොහොයුරු බෙන්ජමින්ගේ නෙත්වලටත් පෙනෙනු ඇත.</verse>
				<verse number="13">ඇරත්, මිසරයේ මාගේ ශ්‍රේෂ්ඨතම පදවියත්, ඔබ දුටු සියල්ලත් පියාට දන්වා, හනික ගොස් මාගේ පියා මෙහි කැඳවා ගෙන එන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="14">ඉන්පසු ඔහු තම සොහොයුරු බෙන්ජමින්ගේ ගෙල වැළඳගෙන හැඬී ය. බෙන්ජමින් ද ඔහුගේ ගෙල වැළඳගෙන හැඬී ය.</verse>
				<verse number="15">තවද, ඔහු තම සහෝදරයන් සියල්ලන් ම සිඹ වැළඳගෙන හැඬී ය. පසුව ඔහුගේ සහෝදරයෝ ඔහු සමඟ කතා කළහ.</verse>
				<verse number="16">තවද, ජෝසෙප්ගේ සහෝදරයන්ගේ පැමිණීමේ ආරංචිය පාරාවෝගේ ගෘහයේ රැව් දිනි. මෙය පාරාවෝට ද ඔහුගේ නිලධාරීන්ට ද ප්‍රීතිදායක විය.</verse>
				<verse number="17">එවිට පාරාවෝ ජෝසෙප්ට කතා කොට, “ඔබේ සහෝදරයන් අමතා, ‘මෙය කරන්න; එනම්, ඔබේ සතුන් පිට බඩු පටවාගෙන යන්න; කානාන් දේශයට ගොස්,</verse>
				<verse number="18">ඔබගේ පියා ද පවුල් ද රැගෙන මා වෙත පැමිණෙන්න; මිසරයේ නිපදවන ඉස්තරම් දේ මම ඔබට දෙමි; ඔබ ද රටේ ඉතා අගනා පලදාව වළඳන්නහු ය’යි දැන්විය යුතු ය. ඔබ ද ඔවුන්ට මෙසේ කරන්න කියා අණ කරන්න.</verse>
				<verse number="19">එනම්: ‘ඔබේ කුඩා දරුවන් හා භාර්යාවන් ද සඳහා මිසර දේශයේ රථවාහන රැගෙන ගොස් ඔබේ පියා කැඳවාගෙන එන්න.</verse>
				<verse number="20">ඇරත් ඔබේ දේපළ ගැන කරදර නොවන්න, මන්ද, මිසර දේශයේ ඉස්තරම් පෙදෙස ඔබට අයිති වන්නේ ය’ කියා දන්වන්නැ”යි සැළ කෙළේ ය.</verse>
				<verse number="21">ඉශ්රායෙල්ගේ දරුවෝ ද එලෙස කළහ. පාරාවෝගේ අණ පරිදි ජෝසෙප් ඔවුන්ට රථවාහන ද මඟට ආහාර ද සැපයී ය.</verse>
				<verse number="22">ඔවුන් එක් එක්කෙනාට අලුත් ඇඳුම් කට්ටලයක් බැගින් දුන්නේ ය. එහෙත්, ඔහු බෙන්ජමින්ට රිදී කාසි තුන් සියයක් ද, අලුත් ඇඳුම් කට්ටල පහක් ද දුනි.</verse>
				<verse number="23">තවද, ඔහු තමාගේ පියාට මිසරයේ ඉතා අගනා දේ පටවන ලද කොටළුවන් දසදෙනෙකු ද, මාර්ගයේ දී ඔහුට උවමනා ධාන්‍ය ආහාර සහ මස් මාංස පටවන ලද කොටළු දෙනුන් දසදෙනෙකු ද යැවී ය.</verse>
				<verse number="24">මෙලෙස ඔහු තම සොහොයුරන් පිටත් කර හැරියේ ය. ඔවුන් නික්ම යන විට, “අතරමඟ දී දබර නොකරන්නට බලාගන්නැ”යි ඔහු ඔවුන්ට කීවේ ය.</verse>
				<verse number="25">ඔව්හු මිසරයෙන් පිටත් ව කානාන් දේශයට අවුත් තම පියා වන ජාකොබ් වෙත පැමිණ,</verse>
				<verse number="26">ඔහුට කතා කොට, “ජෝසෙප් තව ම ජීවත් ව සිටියි. ඇරත් මුළු මිසර දේශයට ම අධිපති ඔහු ය”යි සැළ කළහ. ජාකොබ් ද පුදුමයට පත්වී ඔවුන් විශ්වාස නො කෙළේ ය.</verse>
				<verse number="27">ඔව්හු ජෝසෙප් තමන්ට කී සියල්ල ම ජාකොබ්ට දැන්වූ හ. ඔහු ගෙන යාමට ජෝසෙප් එවූ රථවාහන ජාකොබ් දුටු විට ඔහු යළි ප්‍රාණවත් විය.</verse>
				<verse number="28">එවිට ජාකොබ් හෙවත් ඉශ්රායෙල් කතා කරමින්, “දැන් ඇති, මා පුත් ජෝසෙප් තව ම ජීවත් ව සිටියි, මා මැරෙන්න කලින් ගොස් ඔහු දැකගත යුතු ය”යි කීවේ ය.</verse>
			</chapter>
			<chapter number="46">
				<verse number="1">ජාකොබ් හෙවත් ඉශ්රායෙල් තමන් සතු සියල්ල රැගෙන ගමනට පිටත් ව බෙයර්-ෂෙබාවට පැමිණ තම පියා වූ ඊසාක්ගේ දෙවියන් වහන්සේට යාග පූජා ඔප්පු කෙළේ ය.</verse>
				<verse number="2">දෙවියන් වහන්සේ ද රාත්‍රියේ දී ජාකොබ්ට දර්ශනය වී, “ජාකොබ්, ජාකොබ්” කියා ඔහු ඇමතූ සේක. ඔහු, “මම මෙහි ය” කියා උත්තර දුනි.</verse>
				<verse number="3">එවිට උන් වහන්සේ කතා කරමින්, “මම වනාහි දෙවියන් වහන්සේ වෙමි; නුඹේ පියාගේ දෙවියන් වහන්සේ වෙමි. මිසරයට යෑමට බිය නොවන්න. මන්ද, මම එහි දී නුඹේ පෙළපතින් මහත් ජාතියක් ඇති කරන්නෙමි.</verse>
				<verse number="4">මම නුඹ සමඟ මිසරයට ගොස් යළි මම ම නුඹ ආපසු ගෙනෙන්නෙමි. තවද, නුඹ මැරෙන විට ජෝසෙප්ගේ අත නුඹේ ඇස් පියවන්නේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="5">පසුව ජාකොබ් බෙයර්-ෂෙබාවෙන් පිටත් විය. ජාකොබ්ගේ පුත්‍රයෝ තම පියා ද, තමන්ගේ කුඩා දරුවන් ද, තම භාර්යාවන් ද පාරාවෝ ඔවුන් ගෙන යෑමට එවූ රථවල රැගෙන ගියහ.</verse>
				<verse number="6">තවද, තමන්ගේ ගව පට්ටි ද, කානාන් දේශයේ දී තමන් උපයාගත් වස්තුව ද රැගෙන ජාකොබ් සහ ඔහු කැටුව ඔහුගේ මුළු පෙළපත මිසරයට පැමිණියහ.</verse>
				<verse number="7">මෙලෙස ඔහු තම පුත්‍රයන් ද පුත්‍රයන්ගේ පුත්‍රයන් ද පුත්‍රයන්ගේ දූවරුන් ද මුළු දරු පෙළපත ද තමන් කැටුව මිසරයට ගෙන ආවේ ය.</verse>
				<verse number="8">මිසරයට ගිය ජාකොබ්ගේ පෙළපතේ නාමාවලිය මෙය යි: එනම්, ජාකොබ් සහ ඔහුගේ පුත්‍රයෝ: ජාකොබ්ගේ කුලුඳුලා වන රූබන්;</verse>
				<verse number="9">රූබන්ගේ පුත්‍රයන් වන හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මී;</verse>
				<verse number="10">සිමියොන්ගේ පුත්‍රයන් වන ජෙමුවෙල්, ජාමීන්, ඔහද්, ජාකින්, ශොහාර් සහ කානානිය ස්ත්‍රියකගේ පුත්‍ර ෂාවුල්;</verse>
				<verse number="11">ලෙවීගේ පුත්‍රයන් වන ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරී;</verse>
				<verse number="12">ජුදාගේ පුත්‍රයන් වන ඒර්, ඕනාන්, ෂේලා, පෙරෙශ් සහ ශෙරා ය. එහෙත්, ඒර් සහ ඕනාන් කානාන් දේශයේ දී මළහ. පෙරෙශ්ගේ පුත්‍රයන් වන හෙශ්රොන් සහ හාමුල්;</verse>
				<verse number="13">ඉස්සාකර්ගේ පුත්‍රයන් වන තෝලා, පුවා, ජෝබ් සහ ෂිම්රොන්;</verse>
				<verse number="14">සාබුලොන්ගේ පුත්‍රයන් වන සෙරෙද්, ඒලොන් සහ ජාලෙයෙල්;</verse>
				<verse number="15">මොවුහු සහ ජාකොබ්ගේ දුව වන දීනා, ලෙයා මෙසොපොතේමියාවේ දී ජාකොබ්ට දාව ලැබූ දරුවෝ ය. ඔහුගේ දරුදැරියෝ සියල්ලෝ තිස්තුන්දෙනෙකි.</verse>
				<verse number="16">ගාද්ගේ පුත්‍රයන් වන ශපියොන්, හග්ගි, ෂූනි, එශ්බොන්, ඒරි, අරෝද් සහ අරේලී ය;</verse>
				<verse number="17">ආෂෙර්ගේ පුත්‍රයන් වන ඉමනා, ඉෂ්වා, ඉෂ්වී, බෙරියා හා ඔවුන්ගේ සහෝදරී වන සෙරා; බෙරියාගේ පුත්‍රයන් වන හෙබෙර් සහ මල්කියෙල් ය;</verse>
				<verse number="18">මොවුහු ලාබන් තම දුව වන ලෙයාට සේවිකාව වශයෙන් දුන් ශිල්පාගේ පුත්‍රයෝ ය. ඈ ජාකොබ්ට දාව මොවුන් ලැබුවා ය. මොවුන්ගේ ගණන දහසයදෙනෙකි.</verse>
				<verse number="19">ජාකොබ්ගේ භාර්යාව වූ රාකෙල්ගේ පුත්‍රයන් වන ජෝසෙප් සහ බෙන්ජමින් ය.</verse>
				<verse number="20">තවද, මිසර දේශයේ දී ඕන් නම් පූජ්‍ය ස්ථානයේ පොතිපෙරා නම් පූජකයාගේ දුව වන ආසෙනත්, ජෝසෙප්ට දාව මනස්සේ සහ එප්‍රායිම් ලැබුවා ය.</verse>
				<verse number="21">බෙන්ජමින්ගේ පුත්‍රයන් වන බෙලා, බෙකෙර්, අෂ්බෙල්, ගේරා, නාමාන්, ඒහී, රොෂ්, මුප්පීම්, හුප්පීම් සහ ආරද් ය;</verse>
				<verse number="22">මොවුහු ජාකොබ්ට දාව උපන් රාකෙල්ගේ පුත්‍රයෝ ය. ඒ සියල්ලෝ දසසතරදෙනකි.</verse>
				<verse number="23">දාන් සහ ඔහුගේ පුත්‍රයා වන හුෂිම් ය;</verse>
				<verse number="24">නප්තලීගේ පුත්‍රයන් වන ජාශෙයෙල්, ගුනී, ජේශෙර් සහ ෂිල්ලෙම් ය;</verse>
				<verse number="25">මොවුහු නම් ලාබන් තම දුව වන රාකෙල්ට සේවිකාව වශයෙන් දුන් බිල්හාගේ පුත්‍රයෝ ය. ඈ ජාකොබ්ට දාව මොවුන් ලැබුවා ය. ඒ සියල්ලෝ සත්දෙනෙකි.</verse>
				<verse number="26">ජාකොබ්ගේ පුත්‍රයන්ගේ භාර්යාවන් හැර, ඔහුට දාව උපන්, ඔහු සමඟ මිසරයට ගිය අයගේ මුළු ගණන හැටහයදෙනෙකි.</verse>
				<verse number="27">මිසරයේ දී ජෝසෙප්ට දාව උපන් පුත්‍රයන්ගේ ගණන දෙදෙනෙකි. මිසරයට පැමිණි ජාකොබ්ගේ පවුලට අයත් සියල්ලෝ හැත්තෑදෙනෙක් වූ හ.</verse>
				<verse number="28">තවද, ජාකොබ්, ජෝසෙප් ඉදිරියට පැමිණෙන පිණිස, තමාට පෙරටුව ඔහු වෙත ජුදා එවී ය. ඔව්හු ගෝෂෙන් නම් පෙදෙසට පැමිණියා හ.</verse>
				<verse number="29">එවිට ජෝසෙප් තම රථය සූදානම් කොට, තම පියා වන ජාකොබ් හමු වීමට ගෝෂෙන් බලා ගියේය. තම පියා දුටු කෙණෙහි ම ඔහු ඔහුගේ ගෙල බදාගෙන බොහෝ වේලාවක් ගෙල මත හැඬී ය.</verse>
				<verse number="30">එවිට ජාකොබ් ජෝසෙප්ට කතා කොට, “ඔබේ මූණ දැක ඔබ තව ම ජීවත් ව සිටින බව දුටු හෙයින් දැන් ඉතින් මා මළත් කම් නැතැ”යි කීවේ ය.</verse>
				<verse number="31">ඉන්පසු ජෝසෙප් තම සහෝදරයන්ට හා තම පියාගේ ගෙවැසියන්ට කතා කොට, “මම ගොස් පාරාවෝ ඉදිරියේ පෙනී සිට, ‘කානාන් දේශයේ සිටි මාගේ සහෝදරයන් හා පියාගේ පවුලේ සියල්ලන් මා වෙත පැමිණ ඇත.</verse>
				<verse number="32">ඔව්හු එඬේරු ය, සත්ත්ව ගොවිපළවල් පාලනය කරන අය ය. ඔවුන් තමන්ගේ එළු බැටළු රැළ ද ගව රැළ ද තමන් සතු සියල්ල ද ගෙනැවිත් ඇත’ කියන්නෙමි.</verse>
				<verse number="33">පාරාවෝ ඔබ කැඳවා, ‘ඔබේ රැකියාව කුමක් දැ’යි ඇසූ විට,</verse>
				<verse number="34">ඔබ ද, ‘ඔබේ දාසයන් වන අපිත්, අපේ පියවරුත් තමන් තරුණ වියේ පටන් අද දක්වා සත්ත්ව ගොවිපළවල් රැකබලාගත්තෙමු’යි කියන්න. මෙලෙස ඔබට ගෝෂෙන් පෙදෙසේ පදිංචි වීමට අවසර ලැබේ ය”යි කීවේ ය. ඔහු මෙසේ කීවේ, එඬේරුන් මිසර වාසීන්ට පිළිකුලක් වන බැවිනි.</verse>
			</chapter>
			<chapter number="47">
				<verse number="1">එවිට ජෝසෙප් පාරාවෝ වෙත අවුත්, ඔහුට කතා කොට, “මාගේ පියා හා සහෝදරයෝ ද, ඔවුන්ගේ එළු බැටළු රැළ හා ගව රැළ ද, ඔවුන් සතු සියල්ල ද කානාන් දේශයෙන් නික්ම ආවා හ. දැන් ඔව්හු ගෝෂෙන් පෙදෙසේ සිටිති”යි කීවේ ය.</verse>
				<verse number="2">තවද, ඔහු තම සහෝදරයන්ගෙන් පස්දෙනෙකු රැගෙන පාරාවෝ වෙත ඉදිරිපත් කෙළේ ය.</verse>
				<verse number="3">පාරාවෝ ඔහුගේ සහෝදරයන් අමතමින්, “නුඹලාගේ රැකියාව කුමක් දැ”යි ඇසූ විට, ඔව්හු පාරාවෝට පිළිතුරු දෙමින්, “අපිත්, අපේ පියවරුත් ඔබේ දාසයන් වන එඬේරු වෙමු.</verse>
				<verse number="4">තවද, අප ආවේ මේ රටේ ටික කලක් පදිංචි වීමට ය. මන්ද, කානාන් දේශයේ සාගතය ඉතා දරුණු බැවින් ඔබේ දාසයන්ගේ එළු බැටළු රංචුවලට කෑමට තණ බිම් නැත. දැන් ඉතින්, කරුණාකර ගෝෂෙන් පෙදෙසෙහි ඔබේ දාසයන් හට පදිංචි වීමට අවසර දුන මැනව”යි කී හ.</verse>
				<verse number="5">එවිට පාරාවෝ ජෝසෙප් අමතමින්, “ඔබේ පියා හා සහෝදරයන් ඔබ වෙත පැමිණ ඇත.</verse>
				<verse number="6">මුළු මිසර දේශය ම ඔබ ඉදිරියෙහි ඇත. රටේ හොඳ ම පළාතේ ඔබේ පියා හා සහෝදරයන් පදිංචි කරවන්න. මොවුන් ගෝෂෙන් පෙදෙසෙහි පදිංචි වුණා වේ. ඇරත් ඔවුන් අතර කාර්යක්ෂම මිනිසුන් ඇති බව ඔබ දන්නෙහි නම් මාගේ සත්ත්ව ගොවිපළ බලාගැනීමට ඔවුන් පත් කරන්නැ’යි කී ය.</verse>
				<verse number="7">එවිට ජෝසෙප් තම පියා වන ජාකොබ් කැඳවාගෙන විත් පාරාවෝ වෙත ඉදිරිපත් කළ විට ඔහු පාරාවෝට ආශීර්වාද කෙළේ ය.</verse>
				<verse number="8">පාරාවෝ ඔහු අමතා, “ඔබේ වයස කොපමණ දැ”යි ඇසූ විට,</verse>
				<verse number="9">ජාකොබ් ඔහුට පිළිතුරු දෙමින්, “මිහි පිට මාගේ සැරිසැරීමේ කාලය අවුරුදු එකසිය තිහකි; මා ගෙවූ ජීවිතය කෙටි ය: දුෂ්කර ය. මාගේ මුතුන්මිත්තන් මිහි පිට සැරිසැරූ කාලයට එය සම කළ නොහැකි ය”යි කීවේ ය.</verse>
				<verse number="10">ජාකොබ් යළි පාරාවෝට සෙත් පතා ඔහුගෙන් නික්ම ගියේය.</verse>
				<verse number="11">ඉන්පසු ජෝසෙප් පාරාවෝගේ නියමය පරිදි තම පියා හා සහෝදරයන් පදිංචි කරවා, මිසර දේශයෙහි රාමෙසෙස් නම් පළාතෙන් හොඳ ම ඉඩකඩම් ඔවුන්ට උරුම කොට දුන්නේ ය.</verse>
				<verse number="12">තවද, ජෝසෙප් තම පියාට ද, සහෝදරයන්ට හා පියාගේ ගෙවැසියන් සියලු දෙනාට ද ඔවුන්ගේ පවුල් අනුව ආහාර සපයා දුන්නේ ය.</verse>
				<verse number="13">එකල මුළු රටෙහි ම ආහාර නොතිබිණි. සාගතය කෙතරම් දරුණු වී ද යත්, මිසර දේශය හා මුළු කානාන් දේශය දුර්භික්ෂය නිසා සාගින්නෙන් පෙළුණි.</verse>
				<verse number="14">ජෝසෙප් මිනිසුන්ට ධාන්‍ය විකුණා මිසර දේශයෙහි හා කානාන් දේශයෙහි සියලු මුදල් එකතු කොට ඒ මුදල් රාජකීය භාණ්ඩාගාරයෙහි තැන්පත් කෙළේ ය.</verse>
				<verse number="15">මිසරයේ හා කානාන් දේශයේ මුදල් ඉවර වූ විට මිසර වාසි සියල්ලෝ ම ජෝසෙප් වෙත අවුත්, “අපට ආහාර දෙන්න, නැත්නම් ඔබ බලාගෙන සිටිද්දී ම අප මැරෙනු ඇත. අපේ මුදල් ඉවර ය”යි කී හ.</verse>
				<verse number="16">එවිට ජෝසෙප් පිළිතුරු දෙමින්, “එසේ නම් ඔබේ ගව පට්ටි ගෙනෙන්න. මුදල් ඉවර නම් ඔබේ ගව පට්ටි හිලව්වට මම ඔබට ආහාර දෙන්නෙමි”යි කී ය.</verse>
				<verse number="17">ඔව්හු තමන්ගේ ගව පට්ටි ජෝසෙප් වෙත ගෙනාහ. ඔහු අසුන්, එළු බැටළු රංචු, ගව රැළ හා කොටළුවන් හිලව්වට ඔවුන්ට ආහාර දුන්නේ ය. මෙලෙස අවුරුද්ද තුළ දී ඔවුන්ගේ ගව පට්ටි සියල්ලේ හිලව්වට ඔහු ඔවුන්ට ආහාර දී පෝෂණය කෙළේ ය.</verse>
				<verse number="18">ඒ අවුරුද්ද අවසාන වූ විට, දෙ වන අවුරුද්දේ දී ඔව්හු වෙත අවුත්, ඔහුට කතා කොට, “ස්වාමීනි, ඔබෙන් කරුණු සැඟවීමට නම් බැරි ය; අපේ මුදල් ඉවර ය; අපේ ගව පට්ටි ද ස්වාමීන් සතු ය. අපගේ ශරීර හා ගම්බිම් ඇරෙන්න වෙන කිසිවක් ස්වාමීන් ඉදිරියෙහි අපට නැත.</verse>
				<verse number="19">අප ද අපේ ගම්බිම් ද ඔබ බලාගෙන සිටිද්දී විනාශ වී යා යුතු ද? ආහාර සැපයීමේ හිලව්වට අප ද අපේ ගම්බිම් ද මිලයට ගන්න. එවිට අපි ද, අපගේ ගම්බිම් සමඟ පාරාවෝට වහල්ලු වන්නෙමු. අප නොමැරී ජීවත් වෙන පිණිසත්, ඉඩකඩම් පුරන් වී නොයන පිණිසත් අපට බිත්තර වී දෙන්නැ”යි කී හ.</verse>
				<verse number="20">මෙසේ ජෝසෙප්, මිසරයේ ඉඩකඩම් සියල්ල ම පාරාවෝ සඳහා මිලට ගති. මන්ද, සාගතය ඔවුන් කෙරෙහි දරුණු වූ බැවින්, සෑම මිසර වැසියෙකු ම තම ඉඩකඩම් විකුණුවෙන් මුළු රට ම පාරාවෝ සතු විය.</verse>
				<verse number="21">තවද, ජෝසෙප් මිසරයේ එක සීමාවක පටන් අනික් සීමාව දක්වා ජනතාව වහල් ගොවියන් බවට පත් කෙළේ ය.</verse>
				<verse number="22">පූජකයන්ගේ ඉඩකඩම් පමණක් ඔහු මිලට නොගත්තේ ය. මන්ද, පූජකයෝ පාරාවෝගෙන් ආධාර මුදලක් ලබමින්, පාරාවෝ ඔවුන්ට දුන් ඒ මුදලින් ජීවත් වූ හ. එබැවින් තමන්ගේ ඉඩකඩම් විකිණීමට ඔවුන්ට සිදු නොවී ය.</verse>
				<verse number="23">එවිට ජෝසෙප් ජනයාට කතා කොට, “මෙන්න, මම අද නුඹලා ද නුඹලාගේ ඉඩකඩම් ද පාරාවෝ උදෙසා මිලයට ගතිමි. කෙතේ වැපිරීම සඳහා මෙන්න නුඹලාට ධාන්‍ය.</verse>
				<verse number="24">තවද, අස්වැන්න නෙළන කාලයේ දී නුඹලා පහෙන් එක පංගුවක් පාරාවෝට දිය යුතු ය. පංගු හතරක් කෙතේ වැපිරීම පිණිසත්, නුඹලාගේ ද නුඹලාගේ ගෙවැසියන්ගේ හා කුඩා දරුවන්ගේ ද ආහාර පිණිසත් නුඹලාට වන්නේ ය”යි කී හ.</verse>
				<verse number="25">ඔව්හු පිළිතුරු දෙමින්, “ඔබ අපේ ජීවිත ආරක්ෂා කෙළෙහි ය. අප ස්වාමියා වන ඔබ හමුවෙහි අපට ප්‍රසාදය ලැබේ වා! අපි ද පාරාවෝගේ වහල්ලු වන්නෙමු”යි කී හ.</verse>
				<verse number="26">මෙසේ ජෝසෙප් මිසරයේ දේපළ සම්බන්ධයෙන් අද දක්වා වලංගු වන රජයට පහෙන් පංගුව දීමේ පණත පැනවී ය. පූජකයන්ගේ ඉඩකඩම් පමණක් පාරාවෝට අයිති නොවී ය.</verse>
				<verse number="27">ඉශ්රායෙල් හෙවත් ජාකොබ් මිසර දේශයෙහි ගෝෂෙන් නම් පෙදෙසෙහි වාසය කෙළේ ය. ඔවුන්ට එහි ගම්බිම් අයිති විය. ඔව්හු සඵල ව බොහෝ සෙයින් වැඩි වර්ධනය වූ හ.</verse>
				<verse number="28">තවද, ජාකොබ් මිසර දේශයෙහි අවුරුදු දහහතක් ජීවත් විය. මෙලෙස ඔහුගේ මුළු වයස අවුරුදු එකසිය හතළිස්හතක් විය.</verse>
				<verse number="29">ඉශ්රායෙල් නසින කාලය ආසන්න වූ විට ඔහු තම පුත් ජෝසෙප් කැඳවා ඔහුට කතා කොට, “දැන් ඉතින් ඔබ මට ප්‍රසාදය දක්වන්නෙහි නම්, කරුණාකර, මාගේ කලවය යට ඔබේ අත තබා, මා වෙත පක්ෂපාතකම හා හොඳ හිත දක්වමින්, මා මිසර දේශයෙහි භූමදාන නොකරන බවට පොරොන්දු වන්න.</verse>
				<verse number="30">මාගේ පියවරුන් මෙන් මා මරණයට පත් වූ විට ඔබ මිසරයෙන් මා ගෙන ගොස් ඔවුන්ගේ සොහොන් භූමියෙහි මා භූමදාන කරන්නැ”යි කී ය. “ඔබ කී පරිදි ම මම ඉටු කරමි”යි ජෝසෙප් පිළිතුරු දුනි.</verse>
				<verse number="31">තවද, ජාකොබ් කතා කොට, “එය ගැන මට දිවුරන්නැ”යි ඉල්ලුවෙන් ජෝසෙප් ද ඔහු ඉදිරියෙහි දිවුළේ ය. එවිට ඉශ්රායෙල් යහනේ ඇන්ද මත ඇළ විය.</verse>
			</chapter>
			<chapter number="48">
				<verse number="1">කලක් ගිය පසු, “ඔබේ පියා ලෙඩින් සිටී”ය යි ජෝසෙප්ට දන්වන ලදුව, ඔහු තම පුතුන් දෙදෙන වන මනස්සේ සහ එප්‍රායිම් තමා කැටුව ගෙන ගියේය.</verse>
				<verse number="2">එවිට, “ඔබේ පුත්‍රයා වන ජෝසෙප් ඔබ වෙත එන්නේ යැ”යි ජාකොබ්ට දන්වන ලදින්, ඔහු ශක්තිය යළි උපදවාගෙන ඇඳෙහි වාඩි විය.</verse>
				<verse number="3">ජාකොබ් ජෝසෙප් අමතමින්, “සියලු බලැති දෙවියන් වහන්සේ කානාන් දේශයේ ලූස් නම් ස්ථානයේ දී මට දර්ශනය වී මට ආශීර්වාද කළ සේක.</verse>
				<verse number="4">තවද, උන් වහන්සේ මට කතා කරමින්, ‘බලන්න, මම නුඹ සඵලවත් කොට, නුඹ වැඩි වර්ධනය කරන්නෙමි. නුඹේ පෙළපතින් මම විශාල සෙනඟක් ඇති කරන්නෙමි. ඇරත් මම මේ දේශය නුඹෙන් පසු පැවතෙන නුඹේ පරම්පරාවට සදහට උරුම කොට දෙමි’යි වදාළ සේක.</verse>
				<verse number="5">තවද, මා නුඹ වෙත මිසරයට එන්නට පෙර, නුඹට දාව මිසර දේශයේ දී බිහි වුණ නුඹේ පුත්තු දෙදෙන මාගේ වන්නෝ ය. රූබන් සහ සිමියොන් මෙන් ම එප්‍රායිම් සහ මනස්සේ මාගේ වන්නෝ ය.</verse>
				<verse number="6">එහෙත්, ඔවුන්ට පසු නුඹට දාව උපදින දරුවෝ නුඹේ වන්නෝ ය. ඔව්හු උරුමය ලබනු සඳහා ඔවුන්ගේ සහෝදරයන්ගේ නාමයෙන් හඳුන්වනු ලබන්නෝ ය.</verse>
				<verse number="7">මා මෙසේ කරන්නේ මෙසොපොතේමියාවේ සිට මා එන විට එප්‍රාත් නම් ස්ථානයට මඳක් දුර තිබිය දී, කානාන් දේශයේ අතරමඟ දී නුඹේ මව රාකෙල් මා දුකට පත් කරමින් මළ නිසා ය. මම ද එප්‍රායිම් හෙවත් බෙත්ලෙහෙමට යන මාර්ගයෙහි ඈ භූමදාන කෙළෙමි”යි කීවේ ය.</verse>
				<verse number="8">ඉශ්රායෙල් ජෝසෙප්ගේ පුත්‍රයන් දුටු විට, “මොවුහු කාගේ දැ”යි ඇසී ය.</verse>
				<verse number="9">ජෝසෙප් එවිට තම පියාට උත්තර දෙමින්, “මොවුහු දෙවියන් වහන්සේ මෙහි දී මට දුන් මාගේ පුත්‍රයෝ ය”යි කී ය. එවිට ඔහු, “කරුණාකර, මා ළඟට මොවුන් ගෙනෙන්න, මම මොවුන්ට ආශීර්වාද කරමි”යි කීවේ ය.</verse>
				<verse number="10">වයස නිසා ඉශ්රායෙල්ගේ පෙනීම දුර්වල වී තිබුණෙන් ඔහුට පෙනුණේ නැත. ජෝසෙප් ද ඔවුන් ඔහු වෙත ගෙනා විට, ඔහු ඔවුන් සිප වැළඳගත්තේ ය.</verse>
				<verse number="11">ඉශ්රායෙල් ජෝසෙප්ට කතා කොට, “නුඹේ මුහුණ බැලීමට ලැබේ ය යි මා නම් සිතුවේ නැත. එහෙත් පුදුමයකි, දෙවියන් වහන්සේ නුඹේ පෙළපත ද මට පෙන්වා වදාළ සේකැ”යි කී ය.</verse>
				<verse number="12">පසුව ජෝසෙප් තම පුතුන් පියාගේ තුරුල්ලෙන් ඉවතට ගෙන, මුණින්තලා වී වැන්දේ ය.</verse>
				<verse number="13">ජෝසෙප් ඔවුන් දෙදෙන රැගෙන, එප්‍රායිම්, ජාකොබ්ගේ වම් පැත්තට සිටින පරිදි ඔහු තම දකුණතින් ද, මනස්සේ, ජාකොබ්ගේ දකුණු පැත්තට සිටින පරිදි ඔහු තම වමතින් ද අල්ලාගෙන, ජාකොබ්ට ළං විය.</verse>
				<verse number="14">එවිට ජාකොබ්, සිය දකුණත දිගු කොට එය බාලයා වන එප්‍රායිම්ගේ හිස මත ද, සිය වමත වැඩිමලා වන මනස්සේගේ හිස මත ද තම අත් මාරු කොට තැබී ය.</verse>
				<verse number="15">මෙලෙස අත් තබා ඔහු ජෝසෙප්ට මෙසේ ආශීර්වාද කෙළේ ය: “මාගේ පියවරුන් වන ආබ්‍රහම් සහ ඊසාක්, යම් දෙවි කෙනෙකුන් අබිමුව විසුවෝ ද, ඒ දෙවියන් වහන්සේ, අද දක්වා මා මුළු ජීවිතය තුළ මා එඬේරාණන් වන ඒ දෙවියන් වහන්සේ,</verse>
				<verse number="16">සියලු නපුරෙන් මා මුදාලූ ඒ දූතවරයාණෝ, මේ දරුවන්ට ආශීර්වාද කරන සේක් වා! මාගේ නම ද මා පියවරුන් වූ ආබ්‍රහම්ගේ හා ඊසාක්ගේ නම ද ඔවුන් සමඟ නොමැකී පවතී වා! ඔව්හු මිහි මත සඵල විපුල මහ ජනතාවක් වෙත් වා!”</verse>
				<verse number="17">සිය පියා ඔහුගේ දකුණත එප්‍රායිම්ගේ හිස මත තැබූ බව ජෝසෙප් දුටු විට ඔහු කලබල වී, එය එප්‍රායිම්ගේ හිසින් ඉවතට ගෙන මනස්සේගේ හිස මතට ගෙන එන්න තම පියාගේ අත අල්ලාගෙන,</verse>
				<verse number="18">පියාට කතා කොට, “පියාණෙනි, මෙසේ නොවේ. කුලුඳුලා මොහු ය, ඔබේ දකුණත මොහුගේ හිස මත තබන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="19">එහෙත්, ඔහුගේ පියා එය ප්‍රතික්ෂේප කරමින්, “මම එය දනිමි, මා පුත, මම එය දනිමි, ඔහු ද ජනතාවක් වන්නේ ය. ඔහු ද බලවතෙක් වන්නේ ය. එහෙත් සැබැවින් ම ඔහුගේ බාල සහෝදරයා ඔහුට වඩා බලවත් වන්නේ ය, ඔහුගේ පෙළපත විශාල සෙනඟක් වන්නේ ය”යි කී ය.</verse>
				<verse number="20">එදින ඔහු ඔවුන්ට ආශීර්වාද කරමින්, “ඉශ්රායෙල් ජනතාව අතර ආසිරි පැතුමක් දෙන විට ඔබේ නමින් මෙසේ කියමින් දෙවියන් වහන්සේ ඔබ එප්‍රායිම් සහ මනස්සේ සමාන කරන සේක් වා කියනු ඇතැ”යි කී ය. මෙලෙස ඔහු එප්‍රායිම් මනස්සේට පෙරටුව තැබී ය.</verse>
				<verse number="21">ඉන්පසු ඉශ්රායෙල් ජෝසෙප් අමතමින්, “බලන්න, මාගේ අවසානය ළඟ ය. එහෙත්, දෙවියන් වහන්සේ ඔබ සමඟ වැඩසිට, ඔබ නැවත ඔබේ පියවරුන්ගේ දේශයට ගෙනෙන සේක.</verse>
				<verse number="22">තවද, ඔබේ සහෝදරයන්ට මා දුන්නාට වැඩියෙන් මාගේ කඩුවෙන් සහ දුන්නෙන් මා අමෝරිවරුන්ගෙන් රැගත් ෂෙකෙම් පෙදෙස, මම ඔබට දෙන්නෙමි”යි කීවේ ය.</verse>
			</chapter>
			<chapter number="49">
				<verse number="1">ජාකොබ් තම පුතුන්ට කතා කොට මෙසේ කීවේ ය: “මතු දවස නුඹලාට පැමිණෙන්නට යන දේ ගැන, මා නුඹලා හට ප්‍රකාශ කරන පිණිස එකට රැස් වන්න.</verse>
				<verse number="2">ජාකොබ්ගේ පුතුනි, එක්රැස් වන්න, සවන් දෙන්න, ඔබ පිය ඉශ්රායෙල් හට කන් දෙන්න.</verse>
				<verse number="3">රූබන්, ඔබ මාගේ කුලුඳුලා ය, ඔබ මාගේ බල විකුම ය, මාගේ පුරුෂ ශක්තියේ නාඹුල් පලය ඔබ ය. ඔබ උදාරත්වයෙන් අගතැන්පත් වේ. බල මහිමෙන් මුදුන්මල්කඩ වේ.</verse>
				<verse number="4">එහෙත්, ඔබ මැඩලිය නොහැකි ගංවතුරකි, ඔබට ප්‍රමුඛත්වය නොලැබෙන්නේ ය. ඒ මන්ද, ඔබ පියාගේ යහනට නැඟ, මා දුක් ගන්වා, එය කෙලෙසූ බැවිනි.</verse>
				<verse number="5">සිමියොන් සහ ලෙවී සොහොයුරෝ ය. මැරවරකම් කරනු වස් ඔව්හු අවි අතට ගත්හ.</verse>
				<verse number="6">එම්බා, මා අධ්‍යාත්මය, ඔබ ඔවුන්ගේ කුමන්ත්‍රණවලට නොබැඳේ වා! එම්බා, මාගේ කීර්ති නාමය, ඔවුන්ගේ සමාගම්වලට එකතු නො වේ වා! ඒ මන්ද, ඔව්හූ කිපී මිනිසුන් මැරූ හ. හිතුමතේ ගොනුන්ගේ සතර ගාතය සිඳදැමූ හ.</verse>
				<verse number="7">ඔවුන්ගේ කෝපයට සාප වේ වා! මන්ද, එය දරුණු ය; කුරිරු ය. ජාකොබ්ගේ දේශය තුළ මම ඔවුන් වෙන් කරලමි. ඉශ්රායෙල් ජනතාව අතර ඔවුන් විසුරුවා හරිමි.</verse>
				<verse number="8">ජුදා, ඔබේ සොහොයුරෝ ඔබ පසසති. ඔබ අත සතුරන් ගෙල මත ඇත. ඔබ පියාගේ දරුවෝ ඔබ අබිමුව වැඳ වැටෙති.</verse>
				<verse number="9">
					ජුදා සිහ පොව්වෙකි, මපුත, ඔහු ගොදුරු කා යළි ගුහාව බලා එයි.
					ඔහු සිහ රදෙකු මෙන් ද සිහ දෙනක මෙන් ද වක ගැසී වැතිර සිටියි. ඔහු නැඟිටුවන්නේ කවරෙක් ද?
				</verse>
				<verse number="10">රාජ ජයකොන්තය හිමි තැනැත්තා එන තෙක්, ජුදා කෙරෙන් එය පහනොවේ. රාජ යෂ්ටිය ඔහු පා අතරින් පහනොවේ. ජනතාවෝ ඔහුට කීකරු වෙති,</verse>
				<verse number="11">මිදි වැලේ, ඔහු තම කොටළු නාම්බා දිගේලි කරයි, හොඳ ම මිදි වැලේ කොටළු පැටියා දිගේලි කරයි, ඔහු, තම ඇඳුම් මිදිපැනින් ද, තම සළුව මිදියුසින් ද සෝදයි.</verse>
				<verse number="12">ඔහු නෙත් මිදිරසින් රතු ය, ඔහු දත් කිරෙන් සුදු ය.</verse>
				<verse number="13">සාබුලොන් වසන්නේ මූදුබඩ ය, ඔහුගේ වෙරළ නැව්වලට වරායකි, සීදොන් දක්වා, දේශ සීමා දික් වේ,</verse>
				<verse number="14">ඉස්සාකර් සවි බලැති කොටළුවෙකි, ඔහු සෑදල මැද දිගා වී ලගියි.</verse>
				<verse number="15">විශ්‍රාමය කදිම බව ඔහු දිටී, රට ද සුන්දර බව දිටී, එබැවින් ඔහු, බඩු පොදියට කර දුන්නෙන්, බර වැඩට වහලෙක් වී ය.</verse>
				<verse number="16">දාන්, තම සෙනඟගේ විනිසකරුවෙකි. ඒ සෙනඟ ඉශ්රායෙල් ගෝත්‍රවලින් එකකි.</verse>
				<verse number="17">දාන් මඟ ලගින සර්පයෙක් වේ වා! මාවතේ රැක සිටින පොළඟෙක් වේ වා! ඔහු අසුගේ කුරය දෂ්ට කරයි, අසරුවා ද පස්සට වැටෙයි.</verse>
				<verse number="18">අහෝ සමිඳුනි, ඔබ ගැළවීම මම බලා සිටිමි.</verse>
				<verse number="19">ගාද්ට සොර සතුරු මුළක් පහර දේවි! පහරට පහර දී ඔහු උන් ලුහුබඳීවි!</verse>
				<verse number="20">ආෂෙර්ගේ රට අගනා ආහාර නිපදවයි, ඔහු රජෙකුට නිසි රස මස’වුලු සපයයි.</verse>
				<verse number="21">නප්තලී නිදැල්ලේ දුවන මුව දෙනකි, සුමිහිරි බස් තෙපලයි.</verse>
				<verse number="22">ජෝසෙප් පල දරන වැලකි, උල්පතක් ළඟ පල දරන වැලකි, එහි රිකිලි බිත්තියට උඩින් විහිදෙයි.</verse>
				<verse number="23">දුනුවායෝ ඔහු කුපිත කළහ, ඔහුට විද පහර දුන්හ.</verse>
				<verse number="24">ඔවුන්ගේ දුනු දරුණු ලෙස කැඩිණි, ඔවුන්ගේ බාහු මාංස පේශී ද ඉරී ගියේය. එසේ කරන ලදුයේ, ජාකොබ්ගේ සියලු බලැති දෙවිඳුන්ගේ බෙලෙනි, ඉශ්රායෙල්ගේ පර්වතය වන එඬේරාණන් විසිනි;</verse>
				<verse number="25">ඔබට ආධාර කළ ඔබ පියාගේ දෙවිඳුන් විසිනි; ඔබට ආසිරි සිරි දෙන සියලු බලැති දෙවිඳුන් විසිනි, ඉහළ අහසින් ආසිරි ද පහළ ගැඹුරින් ආසිරි ද පියයුරු හා කුස තුළ ආසිරි ද</verse>
				<verse number="26">ධාන්‍ය හා කුසුම්හි ආසිරි ද පුරාතන කඳුවල ආසිරි ද සදාතන හෙල්වල හොඳ හොඳ දේ ද ජෝසෙප්ගේ හිස මත පතිත වේ වා! තම සොහොයුරන් අතර කැප කරන දේ ද ඔහුගේ හිස් මුදුන්හි පතිත වේ වා!</verse>
				<verse number="27">බෙන්ජමින් ගිජු වෘකයෙකි, උදය ඔහු තම ගොදුරු ගිලදමයි. සවස කොල්ල කෑ දේ බෙදා දෙයි.”</verse>
				<verse number="28">ඉශ්රායෙල්හි ගෝත්‍ර දොළොස මොවුහු සියල්ලෝ ය, ඔවුන්ගේ පියා ඔවුන්ට ආශීර්වාද කරමින් ඔවුන් අමතා කීවේ එලෙස ය. එකිනෙකාට නිසි ආසිරි දෙමින් ඔහු ඔවුන්ට ආශීර්වාද කෙළේ ය.</verse>
				<verse number="29">ඉන්පසු ජාකොබ් ඔවුන්ට අණ කරමින් කතා කොට, “මම මාගේ සෙනඟට එකතු වෙන්න යමි. හිත්තීය ජාතික ඒප්‍රොන්ගේ ඉඩමෙහි ඇති ගුහාවෙහි,</verse>
				<verse number="30">එනම්, කානාන් දේශයේ මම්රේ ඉදිරිපිට මක්පේලාගේ ඉඩමෙහි තිබෙන, ආබ්‍රහම් සොහොන් බිමක් වශයෙන් ඉඩමක් සමඟ ඒප්‍රොන්ගෙන් මිලට ගත් ඔහුට අයිති ගුහාවෙහි, මාගේ පියවරුන් ළඟ මා භූමදාන කරන්න.</verse>
				<verse number="31">ආබ්‍රහම් සහ ඔහුගේ බිරිඳ වන සාරා භූමදාන කරන ලද්දේ එහි ය. ඊසාක් සහ ඔහුගේ බිරිඳ වන රෙබෙකා භූමදාන කරන ලද්දේත් එහි ය. මා, ලෙයා භූමදාන කෙළේත් එහි ය.</verse>
				<verse number="32">ඉඩම සහ එහි ඇති ගුහාව හෙත්ගේ සෙනඟගෙන් මිලයට ගන්නා ලදී”යි කීවේ ය.</verse>
				<verse number="33">මෙසේ ජාකොබ් තම පුතුන්ට උපදෙස් දී නිම කළ කල්හි, ඔහු තම පාද යහනට ගෙන, අවසන් හුස්ම හෙළා තම සෙනඟට එක් විය.</verse>
			</chapter>
			<chapter number="50">
				<verse number="1">එවිට ජෝසෙප් තම පියාගේ මුහුණ බදාගෙන හඬමින් ඔහු සිඹින්නට විය.</verse>
				<verse number="2">පසුව ඔහු තම සේවක වෙදැදුරන්ට තම පියාගේ මළමිනිය නොදිරන පිණිස බෙහෙත් ගැල්වීමට අණ කෙළේ ය. වෙදැදුරෝ එය ඉටු කළහ.</verse>
				<verse number="3">ඒ සඳහා දින හතළිහක් ගත විය. මිනියකට බෙහෙත් කැවීමට ගත වන කාලය දින හතළිහකි. මිසර වාසීහු දින හැත්තෑවක් අවමංගල වත්පිළිවෙත් පැවැත්වූ හ.</verse>
				<verse number="4">අවමංගල වත්පිළිවෙත් අවසාන වූ විට ජෝසෙප් පාරාවෝගේ නිලධාරීන් අමතා, “දැන් ඉතින් ඔබ මට කරුණාව පාන්නහු නම්, කරුණාකර, පාරාවෝට මේ පණිවුඩය යවන්න.</verse>
				<verse number="5">එනම්, ‘මාගේ පියා මට කතා කොට, මෙන්න, මාගේ අවසානය ළඟ ය, කානාන් දේශයේ මා සඳහා මා කැණූ සොහොන් බිම මා භූමදාන කළ යුතු ය’ කියා මා දිවුරෙව්වේ ය. දැන් ඉතින්, මාගේ පියා භූමදාන කරනු පිණිස මා යන්න හරින්න; මම ආපසු එන්නෙමි”යි කී ය.</verse>
				<verse number="6">පාරාවෝ කතා කොට, “යන්න, ඔබේ පියාට ඔබ දිවුරූ ලෙස, ඔහු භූමදාන කරන්නැ”යි උත්තර දුනි.</verse>
				<verse number="7">එවිට ජෝසෙප් තම පියා භූමදාන කරනු පිණිස ගියේය. තවද, ඔහු කැටුව පාරාවෝගේ නිලධාරීහු සියලු දෙන ද ඔහුගේ රාජ සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මිසර දේශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සියලු දෙන ද</verse>
				<verse number="8">ජෝසෙප්ගේ ගෘහවාසී සියලු දෙන ද ඔහුගේ සහෝදරයෝ ද ඔහුගේ පියාගේ ගෘහවාසීහු ද ගියහ. ඔවුන් ගෝෂෙන් ප්‍රදේශයේ ඉතිරි කර ගියේ ඔවුන්ගේ කුඩා දරුවන් ද එළු බැටළු පට්ටි ද ගව පට්ටි ද පමණි.</verse>
				<verse number="9">තවද, ඔවුන් සමඟ අශ්ව රථ හා අශ්වාරෝහකයෝ ද පිටත් වූ හ. එය අති විශාල අවමඟුල් පෙරහැරක් විය.</verse>
				<verse number="10">ඔව්හු ජොර්දානෙන් එගොඩ අතාද් නම් ස්ථානයේ කමතට පැමිණ, එහි මහත් සංවේගයකින් තදින් වැලපුණාහ. ජෝසෙප් ද දවස් හතක් අවමංගල වත්පිළිවෙත් ඉටු කෙළේ ය.</verse>
				<verse number="11">එම දේශයේ වැසියන් වූ කානානිවරු අතාද් කමතේ පැවැත්වූ අවමංගල කෘත්‍යය දැක, “මෙය මිසර වැසියන්ගේ ප්‍රසිද්ධ අවමංගල පිළිවෙතක් ය” කියා ජොර්දානෙන් එතෙර වූ එම ස්ථානයට ආබෙල්-මිශ්‍රායිම් යන නාමය තැබුවෝ ය.</verse>
				<verse number="12">තවද, ජාකොබ්ගේ පුත්‍රයෝ ඔහුගේ අණ පරිදි සියල්ල ඉටු කළහ.</verse>
				<verse number="13">මෙලෙස ඔව්හු කානාන් දේශයට ඔහු ගෙන ගොස් ආබ්‍රහම් විසින් හිත්තීය ජාතික ඒප්‍රොන්ගෙන් සොහොන් බිමක් ලෙස ඉඩමක් සමඟ සින්නක්කරේට මිලට ගත් මම්රේ ඉදිරිපිට වූ මක්පේලාගේ භූමියේ ගුහාවෙහි ඔහු භූමදාන කළහ.</verse>
				<verse number="14">තම පියා භූමදාන කළ පසු ජෝසෙප් ද ඔහුගේ සහෝදරයෝ ද ඔහුගේ පියාගේ භූමදානය සඳහා ගිය සියල්ලෝ ද ආපසු මිසරයට පැමිණියෝ ය.</verse>
				<verse number="15">ජෝසෙප්ගේ සහෝදරයෝ තම පියා මළ බව දුටු විට තමන් අතරේ කතා කරමින්, “ඇතැම් විට ජෝසෙප් අපට වෛර කරන්න පුළුවන, ඇත්තට ම අප ඔහුට කළ සියලු නපුරු දේ ගැන ඔහු අපෙන් පළිගත හැකි ය”යි කී හ.</verse>
				<verse number="16">එබැවින් ඔව්හු ජෝසෙප් වෙත පණිවුඩයක් යවමින්, “ඔබේ පියා මැරෙන්න කලින් අපට කතා කොට,</verse>
				<verse number="17">‘දැන් ඉතින් ඔබේ සහෝදරයන් ඔබට කළ සියලු නපුරුකම්වලටත්, ඔවුන්ගේ ඒ අපරාධයට හා පාපයටත් කරුණාකර ඔවුන් කමා කරන්නැ’යි ජෝසෙප්ට දැන්වීමට අපට අණ කෙළේ ය. එබැවින් දැන් කරුණාකර, ඔබ පියාගේ දෙවියන්ගේ දාසයන් වන අප කළ අපරාධයට සමාව දෙන්නැ”යි කී හ. එහෙත් එලෙස ඔහුට කී විට, ජෝසෙප් හඬන්නට විය.</verse>
				<verse number="18">ඔහුගේ සහෝදරයෝ ගොස් ඔහු ඉදිරියෙහි වැඳ වැටී, “මෙන්න, අපි ඔබගේ දාසයෝ වෙමු”යි කී හ.</verse>
				<verse number="19">එහෙත් ජෝසෙප් ඔවුන්ට කතා කොට, “බිය නොවන්න, දෙවියන් වහන්සේට හිමි තැන මට ගත හැකි ද?</verse>
				<verse number="20">ඔබ නම් මට විරුද්ධ ව නපුරුකම් සිතුවහු ය. එහෙත් අද සිදු වී තිබෙන පරිදි, දෙවියන් වහන්සේ බොහෝ මිනිසුන්ගේ ජීවිත ගළවනු පිණිස ඒවා යහපතට හැරෙවූ සේක.</verse>
				<verse number="21">එබැවින් දැන් ඉතින් බිය නොවන්න, මම ඔබ ද ඔබේ කුඩා දරුවන් ද නඩත්තු කරන්නෙමි”යි, ඔවුන් සනසමින්, ඔවුන් අමතා කාරුණික ලෙස කතා කෙළේ ය.</verse>
				<verse number="22">මෙලෙස ජෝසෙප් ද ඔහුගේ පියාගේ පවුල ද මිසරයේ පදිංචි වූ හ. ජෝසෙප් අවුරුදු එකසිය දහයක් ජීවත් විය.</verse>
				<verse number="23">තවද, ඔහු එප්‍රායිම්ගේ දරුවන් තුන් වන පරම්පරාව දක්වා දිටී ය. මනස්සේගේ පුත්, මාකීර්ගේ දරුවෝ ද ජෝසෙප් විසින් සිය පවුලට බාරගන්නා ලදහ.</verse>
				<verse number="24">ඔහු තම සොහොයුරන් අමතා, “මාගේ අවසානය ළඟ ය. දෙවියන් වහන්සේ ද සැබැවින් ම ඔබ ආරක්ෂා කොට උන් වහන්සේ ආබ්‍රහම්ට, ඊසාක්ට හා ජාකොබ්ට දිවුරා පොරොන්දු වූ රටට, මේ රටින් ඔබ ගෙන යන සේකැ”යි කී ය.</verse>
				<verse number="25">ඉන්පසු ඔහු ඔවුන් අමතමින්, “දෙවියන් වහන්සේ සැබැවින් ම ඔබ ආරක්ෂා කරන විට ඔබ ද මාගේ ඇටකටු මෙතැනින් ගෙන යා යුතු ය” කියා ඉශ්රායෙල්ගේ දරුවන්ගෙන් දිවුරුම් ගත්තේ ය.</verse>
				<verse number="26">ජෝසෙප් අවුරුදු එකසිය දහයක් ආයු වළඳා මළේ ය. පසුව ඔව්හු ඔහුගේ මෘත ශරීරයට බෙහෙත් කවා එය මිසරයෙහි මිනී පෙට්ටියක තැන්පත් කළහ.</verse>
			</chapter>
		</book>
		<book number="2">
			<chapter number="1">
				<verse number="1">ජාකොබ් සමඟ මිසරයට තම තමන්ගේ පවුල් කැටුව පැමිණි ඉශ්රායෙල් ජනයාගේ නාම මෙසේ ය:</verse>
				<verse number="2">රූබන්, සිමියොන්, ලෙවී සහ ජුදා;</verse>
				<verse number="3">ඉස්සාකර්, සාබුලොන් සහ බෙන්ජමින්;</verse>
				<verse number="4">දාන් සහ නප්තලී, ගාද් සහ ආෂෙර් ය.</verse>
				<verse number="5">ජාකොබ්ගේ පෙළපතින් පැවත ආ සියල්ලෝ හැත්තෑදෙනෙක් වූ හ. ජෝසෙප් එවකට මිසරයෙහි සිටියේ ය.</verse>
				<verse number="6">කලකට පසු ජෝසෙප් ද, ඔහුගේ සහෝදරයෝ සියලු දෙන ද, ඒ මුළු පරපුර ද මළහ.</verse>
				<verse number="7">එහෙත් ඉශ්රායෙල් ජනයා සමෘද්ධ වී, බොහෝ සේ වර්ධනය වී, ගණනින් ද වැඩි වී, අතිශයින් බලවත් වූයෙන්, ඔවුන්ගෙන් රට පිරී ගියේ ය.</verse>
				<verse number="8">එකල ජෝසෙප් ගැන කිසිවක් නොදත් අලුත් රජෙක් සිංහාසනාරූඪ විය.</verse>
				<verse number="9">ඔහු තම සෙනඟට කතා කොට, “බලන්න, ඉශ්රායෙල් ජනතාවගේ සෙනඟ අපට වඩා ගණනින් වැඩි වී, බලවත් ව, අපට තර්ජනයක් වී ඇත.</verse>
				<verse number="10">දැන් ඉතින් කන් දෙන්න, ඔවුන්ගේ සංබ්‍යාව වැඩි වීම වළකන පිණිස අපි ඔවුන් සම්බන්ධයෙන් සිහි නුවණින් ක්‍රියා කරමු. යම් හෙයකින් යුද්ධයක් ඇති වුවහොත්, ඔවුන් ද අපේ සතුරන් සමඟ පෙරමුණු බැඳගෙන, අපට විරුද්ධ ව සටන් කොට රට පාලනය කරන්න පුළුවනැ”යි කී ය.</verse>
				<verse number="11">එබැවින් ඔවුන්ගෙන් බර වැඩ ගෙන, ඔවුන්ට පීඩා කරන පිණිස ඔව්හු ඔවුන් කෙරෙහි විධායකයන් පත් කළහ. මෙලෙස ඉශ්රායෙල් ජනයා පාරාවෝ සඳහා, පීතොම් සහ රාමෙසෙස් යන ගබඩා-නගර ගොඩනැඟුවහු ය.</verse>
				<verse number="12">එහෙත් පීඩා විඳින්න, විඳින්න ඔව්හු වඩ වඩා වැඩි වී, වර්ධනය වූ හ. මිසර දේශ වාසීහු ද ඉශ්රායෙල් සෙනඟට බිය වී,</verse>
				<verse number="13">ඔවුන්ගෙන් බලහත්කාරයෙන් වැඩ ගත්හ.</verse>
				<verse number="14">මෙලෙස කුඹල් කර්මාන්තය, ගඩොල් කර්මාන්තය හා කෙත්වල විවිධ කෘෂිකර්මාන්ත වැනි දරුණු වහල් මෙහෙවරින් ඔව්හු ඔවුන්ගේ ජීවිත දැරිය නොහැකි තත්ත්වයකට පත් කළහ. තවද, ඔව්හු ඔවුන්ගෙන් බලහත්කාරයෙන් සියලු ආකාර බර වැඩ ගත්හ.</verse>
				<verse number="15">මිසර දේශයේ රජතුමා හෙබ්‍රෙව් වින්නඹුවන් වන ෂිප්රා හා පුවාට කතා කොට,</verse>
				<verse number="16">“නුඹලා හෙබ්‍රෙව් ස්ත්‍රීන්ට වින්නඹුකම් කරන විට බිහිවන්නට යන්නේ පුතෙක් ද දුවක් ද කියා හොඳින් බලන්න; පුතෙක් නම් මරන්න. දුවක් නම් ඈ ජීවත් වුණා වේ” කියා පැවසී ය.</verse>
				<verse number="17">එහෙත්, වින්නඹුවෝ දේව භය ඇති අය වූ නිසා මිසරයේ රජතුමා අණ කළ පරිදි ඉටු නොකොට, පිරිමි දරුවන්ට ජීවත් වන්න ඉඩ හැරියා හ.</verse>
				<verse number="18">එවිට රජතුමා වින්නඹුවන් කැඳවා, ඔවුන්ට කතා කොට, “නුඹලා මේ දේ කෙළේ මන් ද? පිරිමි දරුවන්ට ජීවත් වන්න ඉඩ දුන්නේ ඇයි දැ”යි විචාළේ ය.</verse>
				<verse number="19">ඔව්හු පිළිතුරු දෙමින්, “හෙබ්‍රෙව් ස්ත්‍රීහු මිසර දේශීය ස්ත්‍රීන් මෙන් නොවෙති. ඔව්හු ශක්ති සම්පන්න ය. වින්නඹුවන් ඔවුන් වෙත එන්නට පෙර ඔව්හු ප්‍රසූත කරති”යි කී හ.</verse>
				<verse number="20">දෙවියන් වහන්සේ වින්නඹුවන්ට මහා කරුණාව පෑ සේක. සෙනඟ ද සංබ්‍යාවෙන් වැඩි වී ඉතා බලසම්පන්න වූ හ.</verse>
				<verse number="21">තවද, වින්නඹුවන් දේව භය ඇති අය වූ නිසා උන් වහන්සේ ඔවුන්ට දරුසම්පත් දුන් සේක.</verse>
				<verse number="22">එවිට පාරාවෝ මුළු සෙනඟ අමතා, “හෙබ්‍රෙව්වරුන්ට උපදින හැම පිරිමි ළමයෙකු ම නයිල් ගඟට විසි කළ යුතු ය; සෑම දුවකට ජීවත් වන්න ඉඩ දිය යුතු ය”යි අණ කෙළේ ය.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">එකල ලෙවී ගෝත්‍රයේ මිනිසෙක්, එම ගෝත්‍රයේ කාන්තාවක සරණ පාවාගත්තේ ය.</verse>
				<verse number="2">ඒ ස්ත්‍රිය ගැබ්ගෙන, දරුවෙකු ලැබූ පසු දරුවා රුවැති බව දුටු ඈ, තෙමසක් ඔහු සඟවා තැබුවා ය.</verse>
				<verse number="3">ඔහු තවත් සඟවා තබාගැන්මට නොහැකි වූ කල, ඈ පන් පෙට්ටියක් ගෙන, එය පිට කීල් හා මැලියම් තවරා, දරුවා එහි බහා, ගං ඉවුරේ බට ගස් අතර එය තැබුවා ය.</verse>
				<verse number="4">තවද, දරුවා හට කුමක් වේ දෝ කියා දැනගැන්මට ඔහුගේ සහෝදරිය ඈතින් බලා සිටියා ය.</verse>
				<verse number="5">එවිට ගඟේ ස්නානය කරනු පිණිස පාරාවෝගේ දූ කුමරිය පැමිණියා ය. ඇගේ සේවිකාවෝ ගං ඉවුර දිගේ ඇවිදිමින් සිටියා හ. ඈ බට ගස් අතර වූ පෙට්ටිය දැක, සේවිකාවක යවා, එය ගෙන්වාගෙන,</verse>
				<verse number="6">ඇරිය විට එහි දරුවෙකු දුටුවා ය. බලන්න, දරුවා ද අඬමින් සිටියේ ය. එවිට ඈ ඔහු කෙරෙහි අනුකම්පා උපදවා, “මේ හෙබ්‍රෙව් ජාතික දරුවෙකැ”යි කීවා ය.</verse>
				<verse number="7">එවිට ඔහුගේ සොහොයුරිය පාරාවෝගේ දූ කුමරියට කතා කොට, “ඔබ උදෙසා දරුවාට කිරි දෙන්නට මා ගොස් හෙබ්‍රෙව් ජාතික කිරි මවක කැඳවාගෙන එන්න දැ”යි විචාළා ය.</verse>
				<verse number="8">පාරාවෝගේ දියණිය ඈට, “යන්නැ”යි කීවෙන්, ඈ ගොස් දරුවාගේ මව කැඳවාගෙන ආවා ය.</verse>
				<verse number="9">එවිට කුමරිය ඈ අමතා, “මේ දරුවා රැගෙන ගොස්, මා වෙනුවෙන් ඔහුට කිරි දෙන්න, මම ද ඔබට කුලිය දෙමි”යි කී විට ඈ දරුවා රැගෙන ගොස් ඔහුට කිරි දී හැදුවා ය.</verse>
				<verse number="10">දරුවා වැඩුණු පසු ඈ ඔහු පාරාවෝගේ දියණිය වෙත ගෙනාවෙන්, ඔහු ඈට පුතෙකු සේ විය. තවද ඈ, “මම ඔහු වතුරෙන් ගොඩ ගතිමි”යි කියා ඔහුට මෝසෙස් යන නම තැබුවා ය.</verse>
				<verse number="11">එකල මෝසෙස් වයසින් වැඩුණු පසු ඔහු තමාගේ සෙනඟ බලන්නට ගිය විට, ඔවුන් කළ බර වැඩ දිටී ය. තවද, ඔහු තමාගේ ම හෙබ්‍රෙව් ජාතිකයෙකුට මිසර වැසියෙකු පහර දෙනවා දිටී ය.‍</verse>
				<verse number="12">එවිට ඔහු වට පිට බලා, කිසිවෙකු නොසිටි බව දැක මිසර වැසියා මරා මළකඳ වැල්ලෙහි සැඟවී ය.</verse>
				<verse number="13">පසු දින ඔහු නික්ම යන විට හෙබ්‍රෙව් ජාතික දෙදෙනෙකු ගහගනිමින් සිටිනු දිටී ය. වැරැද්ද කළ තැනැත්තාට ඔහු කතා කොට, “ඔබේ සහෝදරයාට ඔබ පහර දෙන්නේ මන්දැ”යි විචාළේ ය.</verse>
				<verse number="14">ඔහු පිළිතුරු දෙමින්, “අපට අධිපතියෙකු හා විනිසකරුවෙකු ලෙස ඔබ පත් කෙළේ කවරෙක් ද? ඔබ මිසර වැසියා මැරුවා සේ ම මාත් මරන්න හදන්නෙහි දැ”යි ඇසී ය. එවිට මෝසෙස් බිය වී, “ඇත්තට ම කාරණය එළි වී තිබේ ය”යි කියාගත්තේ ය.</verse>
				<verse number="15">එපවත් සැළ වූ විට පාරාවෝ මෝසෙස් මරාදැමීමට සෙවී ය. එහෙත්, මෝසෙස් පාරාවෝ වෙතින් පලා ගොස් මිදියන් දේශයෙහි පදිංචි විය. ඔහු එහි ළිඳක් ළඟ වාඩි වී සිටියේ ය.</verse>
				<verse number="16">මිදියන්හි පූජකවරයාට දූවරු සත්දෙනෙක් වූ හ. ඔව්හු පැමිණ ළිඳෙන් වතුර ඇද, තම පියාගේ බැටළුවන්ට පොවන පිණිස, දිය ඔරු පිරෙව්වෝ ය.</verse>
				<verse number="17">එහෙත්, එඬේරු පැමිණ ඔවුන් පන්නාදැමූ හ. එවිට මෝසෙස් නැඟිට, ඔවුන්ට ආධාර කරමින් බැටළුවන්ට වතුර පෙවී ය.</verse>
				<verse number="18">තවද, ඒ දූවරුන් තම පියා වන රූවෙල් වෙත පැමිණි විට, ඔහු කතා කරමින්, “අද නුඹලා මෙතරම් ඉක්මනින් ආපසු ආවේ කෙසේ දැ”යි ඇසී ය.</verse>
				<verse number="19">ඔව්හු උත්තර දෙමින්, “මිසර වැසියෙක් එඬේරුන් අතින් අප බේරාගත්තේ ය. එපමණක් නොව, අපට වතුර ඇද දී, බැටළුවන්ටත් පෙවී ය”යි කී හ.</verse>
				<verse number="20">එවිට ඔහු තම දූවරුන් අමතමින්, “ඒ මිනිසා කොහේ ද? නුඹලා ඔහු හැරදමා ආවේ මන් ද? කෑම කන පිණිස ඔහු කැඳවන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="21">මෝසෙස් මිදියන්හි පූජකවරයා සමඟ පදිංචි වීමට සතුටු විය. ඔහු මෝසෙස්ට තම දුව වන ශිප්පොරා සරණ පාවාදුන්නේ ය.</verse>
				<verse number="22">ඇය ඔහුට දාව පුතෙකු ලැබුවෙන්, මෝසෙස් “මම අමුතු රටක අමුත්තෙකු මෙන් සිටියෙමි” කියා ඔහුට ගේර්ෂොම් යන නාමය තැබී ය.</verse>
				<verse number="23">බොහෝ කලක් ගත වූ පසු, මිසරයේ රජතුමා මියගියේ ය. ඉශ්රායෙල් ජනයා වහල් සේවය නිසා සුසුම්ලමින්, මොරගැසූ හ. ඔවුන්ගේ වහල් සේවය නිසා ම ඔවුන්ගේ කන්නලවුව දෙවියන් වහන්සේ වෙත පැමිණියේ ය.</verse>
				<verse number="24">දෙවියන් වහන්සේ ඔවුන්ගේ කන්නලවුවලට සවන් දී, තමන් වහන්සේ ආබ්‍රහම්, ඊසාක් සහ ජාකොබ් සමඟ කළ තම ගිවිසුම සිහි කළ සේක.‍</verse>
				<verse number="25">උන් වහන්සේ ඉශ්රායෙල් ජනයාගේ දුක බලා ඔවුන්ට කරුණාව පෙන්වූ සේක.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">මෝසෙස් තම මාමණ්ඩිය වූ මිදියන්හි පූජක තැන වන ජෙත්රෝගේ එළු බැටළු පට්ටි රැකබලාගනිමින් සිටියේ ය. ඔහු ඒ පට්ටි පාළුකරය හරහා දක්කාගෙන ගොස්, හොරෙබ් නම්, දෙවියන් වහන්සේගේ කන්දට පැමිණි කල,</verse>
				<verse number="2">සමිඳාණන් වහන්සේගේ දූතයා පඳුරක් මැදින් නැඟුණු ගිනි ජාලාවක ආකාරයෙන් ඔහුට දෘශ්‍යමාන විය. ඔහු බැලූ විට පඳුර ගින්නෙන් ඇවිළී ගිය නමුත් එය නොදැවෙන බව දිටී ය.</verse>
				<verse number="3">මෝසෙස්, “මෙය පුදුමයකි. මම දැන් ඊට ළං වී, පඳුර නොදැවෙන්නේ මන්ද කියා බලමි”යි තමාට ම කියාගත්තේ ය.</verse>
				<verse number="4">ඔහු එය බලන පිණිස ඊට ළං වන බව සමිඳාණන් වහන්සේ දුටු විට, දෙවියන් වහන්සේ පඳුර මැදින්, “මෝසෙස්, මෝසෙස්” කියා ඔහුට හඬගැසූ සේක. ඔහු ද, “මම මෙහි ය”යි කීවේ ය.</verse>
				<verse number="5">එවිට දෙවියන් වහන්සේ කතා කොට, “මෙතැනට ළං නොවන්න; නුඹේ පාදවලින් වහන් ගලවාදමන්න; නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියෙකැ”යි වදාළ සේක.</verse>
				<verse number="6">තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, “නුඹේ පියාගේ දෙවියන් වහන්සේ මම ය, ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද මම ය”යි වදාළ සේක. මෝසෙස් ද දෙවියන් වහන්සේගේ මුහුණ දෙස බැලීමට බිය වූ බැවින් තම මුහුණ වසාගත්තේ ය.</verse>
				<verse number="7">සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට මෙසේ වදාළ සේක: “මිසරයේ සිටින මාගේ සෙනඟගේ දුඃඛිත තත්ත්වය මම දිටිමි. ඔවුන්ගේ විධායකයන්ට විරුද්ධ ව නඟින මොරගැසීමට මම සවන් දුනිමි. ඔවුන්ගේ දුක් වේදනා මම හොඳින් දනිමි.</verse>
				<verse number="8">මිසර ජාතීන්ගේ අතින් ඔවුන් මුදා, ඒ රටින් ඔවුන් පිට කරවා, සාරවත් විශාල දේශයකට, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයකට, එනම් කානානිවරුන්ගේ හා හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ හා පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ හා ජෙබුසිවරුන්ගේ ද දේශයට ඔවුන් පමුණුවාලීම සඳහා මම බැස ආවෙමි.</verse>
				<verse number="9">දැන් ඉතින්, මෙන්න, ඉශ්රායෙල් ජනතාවගේ මොරගැසීම මා වෙත නැඟී ඇත. තවද, මිසර වාසීන් දෙන දරුණු පීඩාවන් ද මා දැක ඇත.</verse>
				<verse number="10">එබැවින් දැන් ඉතින් එන්න, මාගේ සෙනඟ වන ඉශ්රායෙල් ජනතාව මිසරයෙන් පිටතට ගෙන යන පිණිස, මම නුඹ පාරාවෝ වෙත යවමි.”</verse>
				<verse number="11">එවිට මෝසෙස් දෙවියන් වහන්සේට කතා කොට, “පාරාවෝ වෙත යාමටත්, ඉශ්රායෙල් ජනයා මිසරයෙන් පිටතට ගෙන ඒමටත් මම කවරෙක් දැ”යි ඇසී ය.</verse>
				<verse number="12">දෙවියන් වහන්සේ උත්තර දෙමින්, “මම නුඹ සමඟ සිටිමි. මා නුඹ එවූ බව දැනගැනීමට නුඹට දෙන ලකුණ මෙය වේ: එනම්, නුඹ සෙනඟ මිසරයෙන් පිටතට ගෙනා විට, මේ කන්ද මත නුඹලා දෙවියන් වහන්සේ වන මා හට වැඳුම්පිදුම් කරන්නහු ය”යි වදාළ සේක.</verse>
				<verse number="13">එවිට මෝසෙස් දෙවියන් වහන්සේට කතා කොට, “එසේ නම් මා, ඉශ්රායෙල් සෙනඟ වෙත ගොස්, ‘නුඹලාගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ මා නුඹලා වෙත එවූ සේකැ’යි කී විට, ඔවුන් ද, ‘උන් වහන්සේගේ නම කුමක් දැ’යි මාගෙන් අසන කල මම ඔවුන්ට කුමක් කියම් දැ”යි ඇසී ය.</verse>
				<verse number="14">උන් වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින්, “මම වනාහි ස්වයම්භූ නම් තැනැන් වහන්සේ වෙමි. ‘ස්වයම්භූ තැනැන් වහන්සේ ඔබ වෙත මා එවූ සේකැ’යි නුඹ ඉශ්රායෙල් ජනයාට කිව යුතු ය”යි වදාළ සේක.</verse>
				<verse number="15">තවදුරටත් උන් වහන්සේ මෝසෙස්ට කතා කරමින්, මෙසේ වදාළ සේක: “ ‘ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද වන නුඹලාගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ වෙත මා එවූ සේකැ’යි කිව යුතු ය; සදහට ම මෙය මාගේ නාමය වේ; මතු සියලු පරම්පරාවෝ මේ නාමයෙන් මට ආමන්ත්‍රණය කරති.”</verse>
				<verse number="16">“නුඹ ගොස් ඉශ්රායෙල් ජනයාගේ ප්‍රජා මූලිකයන් රැස් කොට, ඔවුන් අමතා, ‘ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවියන් වහන්සේ වන, ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මට දර්ශනය වී කතා කොට, මම සැබැවින් ම ඔබ වෙත පැමිණ, මිසර වාසීන් ඔබට කරන දේ දිටිමි.</verse>
				<verse number="17">එබැවින් ඔබ පීඩා විඳින මිසර දේශයෙන් මා ඔබ පිටත්කොට කානානිවරුන්ගේ හා හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ හා පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ හා ජෙබුසිවරුන්ගේ ද දේශය වන, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයකට ඔබ ගෙන එන්ට මම ඉටාගෙන සිටිමි’යි කියන්න.</verse>
				<verse number="18">ඔව්හු ද නුඹේ හඬට සවන් දෙනු ඇත. නුඹ ද ඉශ්රායෙල්ගේ ප්‍රජා මූලිකයන් ද මිසරයේ රජු වෙත ගොස් ඔහුට කතා කොට, ‘හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අපට හමු වූ සේක. එබැවින් අපගේ දෙවි සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරන ලෙස, තුන් දවසක ගමනක්, පාළුකරයට යන්නට අපට අවසර දෙන ලෙස අපි ඔබෙන් බැගෑපත් ව ඉල්ලමු’යි කියන්න.</verse>
				<verse number="19">එහෙත් මිසරයේ රජ, තදින් බල කරනු ලැබුවොත් මිස නුඹලාට යන්නට අවසර නොදෙන බව මට සහතික ය.</verse>
				<verse number="20">මම ද මාගේ බාහු බලය පා, මා එහි කරන්ට යන හාස්කම් සියල්ලෙන් මිසරයට පහර දෙන්නෙමි. ඉන්පසු ඔහු නුඹලාට යන්ට අවසර දෙනු ඇත.</verse>
				<verse number="21">තවද, මම මිසර දේශ වාසීන් ඉදිරියෙහි මේ සෙනඟට අනුග්‍රහය පාන්නෙමි. එබැවින් නුඹලා පිටත් වී යන විට හිස් අතින් නොයන්නහු ය.</verse>
				<verse number="22">සෑම කාන්තාවක ම තම අසල්වැසියාගෙන් ද ඇගේ ගෘහයේ නැවතී සිටින තැනැත්තියගෙන් ද රිදී හා රන් ආභරණ ද වස්ත්‍ර ද ඉල්ලා ගන්නී ය. නුඹලා ඒවා නුඹලාගේ පුත්‍රයන්ට ද දූවරුන්ට ද පැළඳවිය යුතු ය. මෙලෙස නුඹලා මිසර වාසීන්ගේ වස්තුව කොල්ල කෑ යුතු ය.”</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">එවිට මෝසෙස් පිළිතුරු දෙමින්, “හොඳයි, ඔව්හු මා විශ්වාස නොකොට, මාගේ හඬට සවන් නො දී, සමිඳාණන් වහන්සේ ඔබට දර්ශනය නො වූ සේකැ’යි කීවොත් කුමක් කරන්න දැ”යි ඇසී ය.</verse>
				<verse number="2">සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “නුඹේ අතේ තිබෙන්නේ කුමක් දැ”යි ඇසූ සේක. ඔහු, “සැරයටියකැ”යි කී ය.</verse>
				<verse number="3">උන් වහන්සේ කතා කොට, “එය බිම දමන්නැ”යි වදාළ සේක. ඔහු එය බිම දැමී ය, එය සර්පයෙක් විය. එවිට මෝසෙස් ඌ ඉදිරියෙන් අහකට පැන්නේ ය.</verse>
				<verse number="4">සමිඳාණන් වහන්සේ ඔහු අමතමින්, “නුඹේ අත දිගු කොට උගේ වල්ගයෙන් අල්ලාගන්නැ”යි වදාළ සේක. මෝසෙස් ද අත දිගු කොට, ඌ වල්ගයෙන් අල්ලා ගත් විට, ඌ ඔහුගේ අතෙහි සැරයටියක් බවට හැරිණි.</verse>
				<verse number="5">උන් වහන්සේ ද, “ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද වන ඔවුන්ගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ නුඹට දර්ශනය වූ බව ඔවුන් විශ්වාස කරන පිණිස මෙය කරන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="6">තවදුරටත් උන් වහන්සේ ඔහුට කතා කරමින්, “දැන් නුඹේ අත ළයෙහි තබන්නැ”යි වදාළ සේක. ඔහු තම අත ළයෙහි තැබී ය. ඔහු එය අහකට ගත් විට, පුදුමයකි, ඔහුගේ අත හිම මෙන් සුදු කුෂ්ඨයකින් වැසී තිබිණි.</verse>
				<verse number="7">යළිත් උන් වහන්සේ කතා කොට, “නැවත නුඹේ අත ළයෙහි තබන්නැ”යි වදාළ විට ඔහු තම අත ළයෙහි තැබී ය. එය ළයෙන් ඉවතට ගත් විට, පුදුමයකි, එය තම මාංසය මෙන් ප්‍රකෘති ස්වභාවයට හැරී තිබිණි.</verse>
				<verse number="8">එවිට උන් වහන්සේ ඔහු අමතමින්, “පළමු වන හාස්කමින් ඔව්හු නුඹ විශ්වාස නොකරත් නම්, නුඹේ හඬට සවන් නොදෙත් නම්, දෙ වන හාස්කමින් ඔවුන් නුඹේ කීම විශ්වාස කරනු ඇත.</verse>
				<verse number="9">ඔව්හු මේ හාස්කම් දෙක ම විශ්වාස නොකරත් නම්, නුඹ ගංගාවෙන් වතුර රැගෙන වියළි පොළොවට වත් කරන්න; එවිට නුඹ ගංගාවෙන් ගත් වතුර වියළි පොළොව මත ලේවලට හැරෙන්නේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="10">ඉන්පසු මෝසෙස් සමිඳාණන් වහන්සේ අමතා, “මාගේ ස්වාමීනි, ඔබ වහන්සේ ඔබේ දාසයා හා සමඟ කතා කළ පසු වේ වා, ඊට පෙර වේ වා, මම ව්‍යක්ත කථිකයෙක් නො වීමි. කීමෙහි බිණීමෙහි දුබල ය, දිව ගොතගහන සුලු ය”යි කී ය.</verse>
				<verse number="11">සමිඳාණන් වහන්සේ ඔහුට උත්තර දෙමින්, “මිනිසාගේ මුඛය නිර්මාණය කෙළේ කවරෙක් ද? යමෙකු ගොළු කරන්නේ හෝ බිහිරි කරන්නේ හෝ යමෙකුට පෙනීම දෙන්නේ හෝ යමෙකු අන්ධයෙකු කරන්නේ හෝ කවරෙක් ද? එසේ කරනුයේ සමිඳාණන් වහන්සේ වන මම නොවෙම් ද?</verse>
				<verse number="12">එබැවින් දැන් ඉතින් යන්න, නුඹට කතා කිරීමට මම උදව් වෙමි, නුඹ කිව යුතු දේ මම නුඹට කියා දෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="13">එහෙත්, ඔහු පිළිතුරු දෙමින්, “අනේ මාගේ ස්වාමීනි, කරුණාකර, ඔබ කැමැති අන් කෙනෙකු යැව්ව මැනවැ”යි කී ය.</verse>
				<verse number="14">එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් සමඟ උදහසින් ඇවිළී, “නුඹේ සහෝදරයා වන ලෙවීයකු වූ ආරොන් ඉන්නවා නොවේ ද? ඔහු කතාවට දක්ෂයෙකු බව මම දනිමි. මෙන්න, නුඹ හමු වීමට ඔහු එනු ඇත; ඔහු ද නුඹ දකින විට තම හද පත්ලෙන් සතුටු වනු ඇත.</verse>
				<verse number="15">නුඹ ඔහුට කතා කොට ඔහු කුමක් කිව යුතු දැ යි කියා දෙන්න. මම නුඹට හා ඔහුට ද කතා කිරීමට උදව් වන්නෙමි. තවද, නුඹ කුමක් කළ යුතු දැ යි උගන්වන්නෙමි.</verse>
				<verse number="16">ඔහු නුඹ වෙනුවෙන් සෙනඟට කතා කරනු ඇත. මෙසේ ඔහු නුඹේ නියෝජිතයා වන්නේ ය. නුඹ දෙවියන් වහන්සේ මෙන් ඔහුට කුමක් කිව යුතු දැ යි කියා දෙන්නෙහි ය.</verse>
				<verse number="17">ඇරත්, නුඹ මේ සැරයටිය අතේ ගෙන ගොස් එයින් හාස්කම් පෑ යුතු ය”යි වදාළ සේක.</verse>
				<verse number="18">මෝසෙස් තම මාමණ්ඩි වන ජෙත්රෝ වෙත ආපසු ගොස්, ඔහුට කතා කොට, “මිසරයේ සිටින මාගේ ඥාතීන් වෙත ආපසු ගොස් ඔව්හු ජීවත් ව සිටිත් දැ’යි බලනු පිණිස මට යන්න, කරුණාකර, අවසර දෙන්නැ,”යි ඉල්ලී ය. ජෙත්රෝ ද, “සුව සේ යන්නැ”යි මෝසෙස්ට කීවේ ය.</verse>
				<verse number="19">සමිඳාණන් වහන්සේ මිදියන්හි දී මෝසෙස් අමතමින්, “මිසරයට ආපසු යන්න, නුඹව මරන්නට සෙවූ සියල්ලෝ ම මළ හ”යි වදාළ සේක.</verse>
				<verse number="20">මෝසෙස් ද තම බිරිඳ හා පුතුන් රැගෙන, ඔවුන් කොටළුවෙකු පිට නංවාගෙන යළි මිසර දේශයට ගියේ ය. දෙවියන් වහන්සේ දුන් සැරයටියත් ඔහු අතට ගත්තේ ය.</verse>
				<verse number="21">උන් වහන්සේ ඔහුට කතා කොට, “නුඹ මිසරයට ආපසු ගිය විට, මා නුඹට ඉටු කරන්න බලය දුන් ඒ සියලු හාස්කම් පාරාවෝ ඉදිරියෙහි පෑ යුතු ය. එහෙත්, මම ඔහුගේ හිත දැඩි කරමි. සෙනඟට පිට වී යාමට ඔහු ඉඩ නොදෙනු ඇත.</verse>
				<verse number="22">නුඹ ද පාරාවෝට කතා කොට, ‘සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි කියන්න: ‘ඉශ්රායෙල් ජනතාව මාගේ කුලුඳුල් පුත්‍ර රත්නය ය.</verse>
				<verse number="23">එබැවින් මට පුද පූජා ඔප්පු කරන පිණිස මාගේ පුතුට යන්න අවසර දෙන්නට මම ඔබට කියමි. එහෙත්, ඔබ ඔවුන්ට යන්න අවසර නොදෙන්නෙහි නම් මෙන්න, මම ඔබේ කුලුඳුල් පුත්‍රයා මරාදමන්නට යමි’යි කියන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="24">මෝසෙස් මෙසේ යන විට, එක්තරා නවාතැනක දී සමිඳාණන් වහන්සේ ඔහුට හමු වී, ඔහු මරාදැමීමට සෙවූ සේක.</verse>
				<verse number="25">එවිට ශිප්පොරා මුවහත් ගලක් ගෙන ඇගේ පුතුගේ චර්මාග්‍රය කපා මෝසෙස්ගේ පාද එයින් ස්පර්ශ කොට, “දැන් ඉතින් ඔබ චර්මඡේදනය ලැබූ සැමියෙකි”යි කීවා ය.</verse>
				<verse number="26">උන් වහන්සේ එවිට මෝසෙස්ට ජීවත් වෙන්න ඉඩ හැරිය සේක. චර්මඡේදනය නිසා, ‘ඔබ චර්මඡේදනය ලැබූ සැමියෙකි’ යි ඈ කීවේ එවිට ය.</verse>
				<verse number="27">සමිඳාණන් වහන්සේ ආරොන්ට කතා කොට, “මෝසෙස් හමු වීමට පාළුකරයට යන්නැ”යි වදාළ සේක. ඔහු එහි ගොස් දෙවියන් වහන්සේගේ කන්දෙහි දී මෝසෙස් හමු වී, ඔහු සිපගත්තේ ය.</verse>
				<verse number="28">එවිට දෙවියන් වහන්සේ තමා එවූ විට වදාළ සියලු දේ ද තමාට උන් වහන්සේ අණ කළ සියලු හාස්කම් ද ආරොන්ට දැන්වී ය.</verse>
				<verse number="29">පසුව මෝසෙස් සහ ආරොන් ගොස් ඉශ්රායෙල් ජනතාවගේ ප්‍රජා මූලිකයන් සියලු දෙන රැස් කරවූ හ.</verse>
				<verse number="30">ඉන්පසු ආරොන්, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාළ සියල්ල කියා දී, සෙනඟ ඉදිරිපිට හාස්කම් පෑවේ ය.</verse>
				<verse number="31">සෙනඟ ද ඔවුන් විශ්වාස කළහ. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනතාව බලන්නට පැමිණ, ඔවුන් විඳින දුක බලා එය තේරුම්ගත් නිසා, ඔව්හු හිස නමා නමස්කාර කළහ.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">ඉන්පසු මෝසෙස් ද ආරොන් ද පාරාවෝ වෙත පැමිණ, “ ‘පාළුකරයෙහි මාගේ නාමයෙන් මංගල්‍යයක් පවත්වනු පිණිස මාගේ සෙනඟට යන්න අවසර දෙන්න’ කියා ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ, වදාරන සේකැ”යි කී හ.</verse>
				<verse number="2">පාරාවෝ පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ නම් කවරෙක් ද? ඉශ්රායෙල් ජනයාට යන්න අවසර දීමට මා ඒ හඬට අවනත විය යුත්තේ මන් ද? මම සමිඳාණන් වහන්සේ නාඳුනමි. ඉශ්රායෙල් ජනයාට යන්න මා අවසර දෙන්නේ නැතැ”යි කී ය.</verse>
				<verse number="3">ඔව්හු යළි කතා කොට, “හෙබ්‍රෙව්වරුන්ගේ දෙවියන් වහන්සේ අපට හමු වූ සේක. අපේ දෙවි සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරනු පිණිස පාළුකරයට, තුන් දිනක ගමන් දුර යෑමට, කරුණාකර, අපට අවසර දෙන්න, එලෙස නුදුන්නොත් උන් වහන්සේ අපට වසංගතයෙන් හෝ කඩුවෙන් හෝ පහර දෙන සේකැ”යි කී හ.</verse>
				<verse number="4">එවිට මිසරයේ රජ ඔවුන් අමතමින්, “මෝසෙස් සහ ආරොන්, සෙනඟ ඔවුන්ගේ වැඩවලින් ඉවත් කරන්න නුඹලා අදහස් කරන්නේ මක්නිසා ද? බර වැඩට ආපසු යන්නැ”යි කී ය.</verse>
				<verse number="5">පාරාවෝ වැඩිදුරටත් කතා කරමින්, “දැන් මොව්හු දේශීය ජනතාවට වඩා බහුල ව සිටිති. නුඹලා අදහස් කරන්නේ ඔවුන්ගේ බර වැඩ නවත්වා දැමීමට දැ”යි ඇසී ය.</verse>
				<verse number="6">ඒ දවසේ ම, පාරාවෝ ජනතාවගේ විධායකයන්ට හා නිලධාරීන්ට අණ කරමින්,</verse>
				<verse number="7">“නුඹලා මෙතෙක් කළ පරිදි ගඩොල් සෑදීම සඳහා මිනිසුන්ට පිදුරු නොදිය යුතුයි. ඔවුන් ම ගොස් පිදුරු සොයාගත යුතුයි.</verse>
				<verse number="8">එහෙත්, මේ දක්වා ඔවුන් සෑදූ ගඩොල් ගණන ම තැනිය යුතුයි. ඉන් කිසිවක් අඩු නොකරන්න, ඔව්හු දැන් අලස ය. එබැවින්, ‘අපගේ දෙවියන් වහන්සේට පුද පූජා ඔප්පු කරන්න අපට යන්න දෙන්න’ කියා මොරගසති.</verse>
				<verse number="9">තවද, නොනවත්වා ම වැඩ කරන පිණිසත්, වැඩකට නැති කතාවලට කන් නොදෙන පිණිසත් ඔවුන් පිට බර වැඩ පැවරිය යුතු ය”යි කී ය.</verse>
				<verse number="10">ජනතාවගේ විධායකයෝ ද නිලධාරීහු ද පිටත් ව ගොස් සෙනඟට කතා කොට, “පාරාවෝ මෙසේ අණ කොට ඇත. එනම්, ‘මම නුඹලාට පිදුරු නොදෙමි,</verse>
				<verse number="11">නුඹලා ම ගොස් පුළුවන් තැන්වලින් පිදුරු සොයාගන්න, හැබැයි, නුඹලාගේ වැඩ කිසිවක් අඩු නොවිය යුතු ය’ කියා කීවේ යැ”යි කී හ.</verse>
				<verse number="12">එවිට සෙනඟ පිදුරු නැති නිසා ඉපනැලි එකතු කිරීමට මුළු මිසර දේශයෙහි ම විසිර ගියහ.</verse>
				<verse number="13">විධායකයෝ කතා කරමින්, “පිදුරු තිබුණු කල්හි මෙන් ම නුඹලාට නියමිත දිනපතා වැඩ කොටස සම්පූර්ණ කළ යුතු ය”යි ඔවුන් ඉක්මන් කරවූ හ.</verse>
				<verse number="14">තවද, ඔව්හු පාරාවෝගේ විධායකයන් විසින් පත් කරන ලද ඉශ්රායෙල් ජනයාගේ නිලධාරීන්ට පහර දී, “මෙතෙක් කළ පරිදි ඊයෙත්, අදත් නියමිත ගඩොල් ගණන සාදා නිම නොකළේ මන්දැ”යි ඇසූ හ.</verse>
				<verse number="15">එවිට ඉශ්රායෙල් ජනයාගේ නිලධාරීහු පාරාවෝ වෙත ගොස් පැමිණිලි කරමින්, “ඔබේ දාසයන්ට ඔබ මෙසේ කරන්නේ මන් ද?</verse>
				<verse number="16">ඔබ ඔවුන්ට පිදුරු සපයන්නේත් නැත; එහෙත්, ‘පිදුරු නැති ව ගඩොල් සාදන්නැ’යි අපට කීම හරි පුදුම කීමකි. ඔව්හු ඔබේ දාසයන්ට පහර දෙති. එහෙත්, වරද ඇත්තේ ඔබේ ම සෙනඟ අතේ නොවේ දැ”යි ඇසූ හ.</verse>
				<verse number="17">එවිට පාරාවෝ කතා කොට, “නුඹලා අලස ය, කම්මැලි ය, ‘අපි ගොස් සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරමු’යි නුඹලා කියන්නේ ඒ නිසා ය.</verse>
				<verse number="18">දැන් ඉතින් වැඩට ආපසු පලයව්; නුඹලාට කොහෙත් ම පිදුරු සපයනු නොලැබේ. එහෙත්, නියමිත ගඩොල් ගණන බාර දිය යුතු ම ය”යි කී ය.</verse>
				<verse number="19">‘නුඹලා දිනපතා සෑදිය යුතු ගඩොල් ගණනින් කිසිවක් අඩු නොකළ යුතු ය’යි පාරාවෝ කී පසු, ඉශ්රායෙල් ජනයාගේ නිලධාරීහු තමන්ට අපල කාලයක් උදා වී තිබෙන බව දුටහ.</verse>
				<verse number="20">ඔවුන් පාරාවෝ වෙතින් ආපසු එන විට, ඔවුන් එන තෙක් අතර මඟ බලා සිටි මෝසෙස් සහ ආරොන් හමු වී,</verse>
				<verse number="21">“සමිඳාණන් වහන්සේ ඔබ වෙත බැල්ම හෙළා, ඔබට දඬුවම් කරන සේක් වා! මන්ද ඔබ, පාරාවෝ සහ ඔහුගේ නිලධාරීන් ඉදිරියෙහි අප පිළිකුලක් කොට මරාදමනු පිණිස ඔබ ඔවුන්ගේ අත්වලට කඩුවක් දුන්නහු ය”යි ඔව්හු කීවෝ ය.</verse>
				<verse number="22">මෝසෙස් සමිඳාණන් වහන්සේ වෙත ආපසු ගොස්, “ස්වාමීනි, ඔබ වහන්සේ මේ සෙනඟට මෙතරම් දරුණු ලෙස ක්‍රියා කරන්නේ මන් ද? ඔබ වහන්සේ මා යැව්වේ කුමක්නිසා ද?</verse>
				<verse number="23">මා පාරාවෝ වෙත ගොස් ඔබේ නාමයෙන් කතා කළ දවසේ පටන් ඔහු මේ සෙනඟට පීඩා කරයි. ඔබ වහන්සේ ද ඔබ සෙනඟ මුදාලීමට කිසි ම දෙයක් කර නැතැ”යි කීවේ ය.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “මා පාරාවෝ හට කරන්න යන දේ නුඹට දැන් පෙනෙනු ඇත. බාහු බලයෙන් ඔවුන්ට පිට වී යන්න ඉඩ හරින ලෙසත් බාහු බලයෙන් සිය රටින් පිටමං කරන ලෙසත් ඔහුට බල කරමි”යි වදාළ සේක.</verse>
				<verse number="2">දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “මම සමිඳාණන් වහන්සේ ය.</verse>
				<verse number="3">මම ආබ්‍රහම්ට ද ඊසාක්ට ද ජාකොබ්ට ද සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ මෙන් ප්‍රකාශ වූයෙමි. එහෙත් මම, සමිඳාණන් වහන්සේ යන නාමයෙන් ඔවුන් හට ප්‍රකාශ නොවූයෙමි.</verse>
				<verse number="4">මම ද ඔවුන් කලක් විදේශීන් ව විසූ කානාන් දේශය ඔවුන්ට දීමට ඔවුන් සමඟ ගිවිසුමක් පිහිටුවා ගතිමි.</verse>
				<verse number="5">තවද, මිසර වාසීන් විසින් වහල් බැම්මෙන් බැඳගන්නා ලද ඉශ්රායෙල් ජනතාවගේ සුසුම්ලෑමට සවන් දී, මාගේ ගිවිසුම සිහි කෙළෙමි.</verse>
				<verse number="6">එබැවින් නුඹ ඉශ්රායෙල් ජනතාවට කතා කොට, ‘මම වනාහි සමිඳාණන් වහන්සේ ය. මිසර වාසීන් නුඹලා පිට පටවා ඇති බරපතල වැඩවලින් නුඹලා මුදා, ඔවුන්ගේ වහල් සේවයෙන් නිදහස් කොට, මාගේ හස්තය දිගු කොට දරුණු ලෙස ඔවුන්ට දඬුවම් දෙමින් මම නුඹලා ගළවාගන්නෙමි.</verse>
				<verse number="7">තවද, මාගේ ම සෙනඟ මෙන් නුඹලා භාරගෙන, මම නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. මිසර වාසීන්ගේ බර වැඩවලින් නුඹලා මුදන, නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මා බව නුඹලා එවිට දැනගන්නහු ය.</verse>
				<verse number="8">පසුව ආබ්‍රහම්ට ද ඊසාක්ට ද ජාකොබ්ට ද දෙන ලෙස මා දිවුළ දේශයට මම නුඹලා ගෙනෙන්නෙමි. මම එය නුඹලාට උරුම කොට දෙන්නෙමි. සමිඳාණන් වහන්සේ මම වෙමි’යි කියන්න.”</verse>
				<verse number="9">මෝසෙස් මෙසේ ඉශ්රායෙල් ජනතාවට කී නමුත් ඔවුන්ගේ දැඩි සිත් වේදනාව හා දරුණු වහල්කම නිසා ඔව්හු ඔහුට සවන් නුදුන්හ.</verse>
				<verse number="10">එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,</verse>
				<verse number="11">“නුඹ මිසරයේ රජු වන පාරාවෝ වෙත ගොස්, ‘ඔහුගේ රටින් පිට වී යන්න ඉශ්රායෙල් ජනතාවට අවසර දෙන්න’ කියා කියන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="12">එවිට මෝසෙස් සමිඳාණන් වහන්සේට කතා කොට, “බලන්න, ඉශ්රායෙල් ජනයා මට සවන් දෙන්නේ නැත්නම්, කතාවෙහි චතුරත්වයක් නැති මට පාරාවෝ කෙසේ සවන් දෙන්නේ දැ”යි විචාළේ ය.</verse>
				<verse number="13">එවිට ඉශ්රායෙල් ජනතාව මිසර දේශයෙන් පිටතට ගෙන යන ලෙස සමිඳාණන් වහන්සේ තමන්ට නියම කළ බව ඉශ්රායෙල් ජනයාට හා මිසරයේ රජු වන පාරාවෝට දන්වන ලෙස උන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට අණ කළ සේක.</verse>
				<verse number="14">පහත දැක්වෙනුයේ ඔවුන්ගේ පිය පෙළපත්වල ප්‍රධානීහු ය. ජාකොබ්ගේ කුලුඳුලා වූ රූබන්ගේ පුත්‍රයෝ නම් හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මී ය. මොවුහු රූබන්ගේ පෙළැන්තියට අයිති වූවෝ වෙති.</verse>
				<verse number="15">සිමියොන්ගේ පුත්‍රයෝ නම් ජෙමුවෙල්, ජාමීන්, ඕහද්, ජාකීන්, ශොහර් සහ කානානිය ස්ත්‍රියකගේ පුත්‍ර වූ ෂාවුල් ය. මොවුහු සිමියොන්ගේ පෙළැන්තියට අයිති වූවෝ වෙති.</verse>
				<verse number="16">තමන්ගේ පරම්පරා අනුව ලෙවීගේ පුත්‍රයන්ගේ නාම මෙසේ ය: ගෙර්ෂොන්, කොහාත් සහ මෙරාරී ය. ලෙවී අවුරුදු එකසිය තිස්හතක් ජීවත් විය.</verse>
				<verse number="17">ඔවුන්ගේ පෙළපත් අනුව ගෙර්ෂොන්ගේ පුත්‍රයෝ නම් ලිබ්නි සහ ෂිමෙයි ය.</verse>
				<verse number="18">කොහාත්ගේ පුත්‍රයෝ නම් අම්රාම්, ඉශ්හාර්, හෙබ්රොන් සහ උශ්ශියෙල් ය. කොහාත් අවුරුදු එකසිය තිස්තුනක් ජීවත් විය.</verse>
				<verse number="19">මෙරාරීගේ පුත්‍රයෝ නම් මාලී සහ මුෂී ය. ඔවුන්ගේ පරම්පරා අනුව ලෙවීගේ පෙළපත් මේවා ය.</verse>
				<verse number="20">තවද, අම්රාම් තම පියාගේ සොහොයුරිය වූ ජොකෙබෙද් බිරිඳ කොට සරණ පාවාගත්තේ ය. ඇය ඔහුට දාව ආරොන් සහ මෝසෙස් ලැබුවා ය. අම්රාම් අවුරුදු එකසිය තිස්හතක් ජීවත් විය.</verse>
				<verse number="21">ඉශ්හාර්ගේ පුත්‍රයෝ නම් කෝරා, නෙපෙග් සහ ශික්රී ය.</verse>
				<verse number="22">උශ්ශියෙල්ගේ පුත්‍රයෝ නම් මිෂායෙල්, එල්ෂාපාන් සහ සිත්රී ය.</verse>
				<verse number="23">ආරොන් අම්මිනාදබ්ගේ දුව වූ නාෂොන්ගේ සහෝදරී වූ එලිෂෙබා බිරිඳ කොට සරණ පාවාගත්තේ ය. ඈ ඔහුට දාව නාදාබ්, අබිහු, එලෙයාසර් සහ ඊතාමාර් ලැබුවා ය.</verse>
				<verse number="24">කෝරාගේ පුත්‍රයෝ නම් අස්සීර්, එල්කානා සහ අබියාසාප් ය. මොව්හු කෝරා ජාතිකයන්ගේ පෙළපත් ය.</verse>
				<verse number="25">ආරොන්ගේ පුත් එලෙයාසර් පුතියෙල්ගේ දුවක බිරිඳ කොට සරණ පාවාගත්තේ ය. ඈ ඔහුට දාව පිනෙහාස් ලැබුවා ය. මොවුහු තමන්ගේ පෙළපත් අනුව ලෙවී ජාතිකයන්ගේ පිය පෙළපත්වල ප්‍රධානීහු ය.</verse>
				<verse number="26">“ඉශ්රායෙල් ජනතාව කණ්ඩායම් වශයෙන් මිසර දේශයෙන් පිටතට ගෙනෙන්න” කියා සමිඳාණන් වහන්සේ කීවේ මේ ආරොන්ට සහ මෝසෙස්ට ය.</verse>
				<verse number="27">ඉශ්රායෙල් ජනතාව මිසර දේශයෙන් පිටතට ගෙනෙනු පිණිස මිසරයේ රජ වූ පාරාවෝට කතා කෙළේත් එම මෝසෙස් සහ ආරොන් ය.</verse>
				<verse number="28">සමිඳාණන් වහන්සේ මිසර දේශයේ දී මෝසෙස්ට කතා කළ දවසේ</verse>
				<verse number="29">උන් වහන්සේ ඔහුට වදාළේ, “මම සමිඳාණන් වහන්සේ ය. මා නුඹට වදාළ සියල්ල මිසරයේ රජු වන පාරාවෝට දන්වන්න” කියා ය.</verse>
				<verse number="30">එහෙත් මෝසෙස් සමිඳාණන් වහන්සේට කීවේ, “බලන්න, මම කතාවෙහි දක්ෂයෙක් නොවෙමි, එසේ නම් පාරාවෝ මට සවන් දෙන්නේ කුමට දැ”යි කියා ය.</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">තවද සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “බලන්න, මම නුඹ පාරාවෝ ඉදිරියෙහි දෙවි කෙනෙකු මෙන් කරමි. නුඹේ සහෝදර වූ ආරොන් නුඹේ දිවැසිවරයා වන්නේ ය.</verse>
				<verse number="2">මා නුඹට අණ කරන සියල්ල නුඹ ඔහුට කිව යුතු ය. නුඹේ සහෝදර වන ආරොන් ද පාරාවෝට කතා කොට, ඔහු ඉශ්රායෙල් ජනයා ඔහුගේ දේශයෙන් පිටත් කර යැවිය යුතු ය යි කියන්න.</verse>
				<verse number="3">මම ද පාරාවෝගේ සිත දැඩි කොට, මිසර දේශයෙහි මාගේ ලකුණු හා හාස්කම් බහුල ව සිදු කරමි.</verse>
				<verse number="4">එහෙත්, පාරාවෝ නුඹට සවන් නොදෙන්නේ ය. එවිට මම මිසරයෙහි මාගේ බාහු බලය පා, එහි වාසීන්ට දරුණු දඬුවම් දී, මාගේ සේනාවන් ද මාගේ සෙනඟ ද වන ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පිටතට ගෙනෙන්නෙමි.</verse>
				<verse number="5">මිසරයට විරුද්ධ ව මාගේ හස්තය දිගු කොට ඔවුන් අතුරින් ඉශ්රායෙල් ජනයා පිටත ගෙනෙන විට මා සමිඳාණන් වහන්සේ බව මිසර දේශ වාසීහු දැන ගන්නෝ ය.”</verse>
				<verse number="6">මෝසෙස් හා ආරොන් උන් වහන්සේ තමන්ට අණ කළ පරිදි ඉටු කළහ.</verse>
				<verse number="7">ඔවුන් පාරාවෝ සමඟ කතා කරන කාලයේ දී මෝසෙස්ගේ වයස අවුරුදු අසූවකි; ආරොන්ට අවුරුදු අසූතුනකි.</verse>
				<verse number="8">තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට,</verse>
				<verse number="9">“පාරාවෝ නුඹ අමතා, සාක්ෂි වශයෙන් හාස්කම් පෑමට කීවොත්, නුඹ ආරොන්ට කතා කොට, ‘ඔබේ සැරයටිය ගෙන එය සර්පයෙකු වෙන ලෙස පාරාවෝ ඉදිරියෙහි බිම දමන්න,’ කියා කිව යුතු ය”යි වදාළ සේක.</verse>
				<verse number="10">ඉන්පසු මෝසෙස් සහ ආරොන් ද පාරාවෝ වෙත ගොස් සමිඳාණන් වහන්සේ අණ කළ ලෙස ඉටු කළහ. ආරොන් තම සැරයටිය පාරාවෝ සහ ඔහුගේ නිලධාරීන් ඉදිරියෙහි දැමූ විට එය සර්පයකේ විය.</verse>
				<verse number="11">එවිට පාරාවෝ, ශාස්ත්‍රවන්තයන් හා අනවිනකාරයන් කැඳවී ය. මිසරයේ ඒ ඉන්ද්‍රජාලිකයෝ ද තමන්ගේ ඇස් බැන්දුම්වලින් එලෙස ම කළහ.</verse>
				<verse number="12">ඔවුන් සැම දෙනෙකු ම තම තමන්ගේ සැරයටි බිම දැමූ විට ඒවා සර්පයෝ වූ හ. එහෙත් ආරොන්ගේ සැරයටිය ඔවුන්ගේ සැරයටි ගිලදැමී ය.</verse>
				<verse number="13">සමිඳාණන් වහන්සේ වදාළ ලෙස පාරාවෝගේ හිත දැඩි වූයෙන්, ඔහු මෝසෙස් සහ ආරොන් කී දේ සැලකුවේ නැත.</verse>
				<verse number="14">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “පාරාවෝගේ සිත දැඩි වී ඇත. ඔහු සෙනඟට පිට වී යන්න අවසර නොදෙන්නේ ය.</verse>
				<verse number="15">උදය කාලයේ පාරාවෝ ගඟට යන විට, නුඹ ද ගං ඉවුරේ ඔහු පැමිණෙන තෙක් බලා සිටින්න. තවද, සර්පයෙකු වූ සැරයටිය අතින් රැගෙන යන්න.</verse>
				<verse number="16">නුඹ ඔහුට කතා කොට, හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ කීමට ඔබ වෙත මා එවූ සේක. එනම්, ‘මට පාළුකරයෙහි වැඳුම්පිදුම් කරන පිණිස යන්න මාගේ සෙනඟට අවසර දෙන්න. එහෙත් පුදුමයකි, මේ වන තෙක් ඔබ ඊට සවන් නුදුන්නෙහි ය.</verse>
				<verse number="17">එබැවින් මෙන්න, සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය: මා සමිඳාණන් වහන්සේ බව ඔබ මේ ලකුණින් දැන ගන්නෙහි ය. එනම්, බලන්න, ගඟේ දියට මා අතේ ඇති සැරයටියෙන් ගසමි. එවිට එහි වතුර ලේ වන්නේ ය.</verse>
				<verse number="18">ගඟේ සිටින මසුන් මැරී ගඟෙන් දුගඳ හමනු ඇත. එබැවින් එහි වතුර බීමට මිසර වාසීහු ඉතා අප්‍රිය කරන්නෝ ය’ ”යි වදාළ සේක.</verse>
				<verse number="19">සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්, “ආරොන්ට මෙසේ කියන්න: ‘මිසරයේ ගංගා, ඇල දොළ, වැව් පොකුණු සියල්ල ම ලේවලට හැරෙන පිණිස ඔබේ සැරයටිය අතට ගෙන ජලය මත එය දිගු කරන්න.’ එවිට, මුළු මිසර දේශය පුරා ඇති ලී බඳුන්වල මෙන් ම ගල් බඳුන්වල ද ලේ ඇති වන්නේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="20">මෝසෙස් සහ ආරොන් සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි කළහ. පාරාවෝ සහ ඔහුගේ නිලධාරීන් ඉදිරිපිට ඔහු සැරයටියෙන් ගඟේ ජලයට ගැසී ය. ගඟේ ජලය සියල්ල ද ලේවලට හැරිණි.</verse>
				<verse number="21">ගඟේ මාළු ද මැරිණි; ගඟෙන් දුගඳ හමන්නට විය. මිසර දේශ වාසීන්ට එහි ජලය බීමට නොහැකි විය. තවද, මුළු මිසර දේශයේ පුරා ම ලේ ඇති විය.</verse>
				<verse number="22">මිසර දේශයේ ඉන්ද්‍රජාලිකයෝ ද තමන්ගේ ඇස් බැන්දුම්වලින් එලෙස කළහ. පාරාවෝගේ හිත දැඩි වූයෙන්, සමිඳාණන් වහන්සේ වදාළ ලෙස ඔහු ඔවුන් කී දේ සැලකුවේ නැත.</verse>
				<verse number="23">පාරාවෝ ද සිදු වූ දේ ගණනකට නොගත්තෙන්, හැරී ආපසු තම මාලිගාවට ගියේ ය.</verse>
				<verse number="24">ගංගාවේ ජලය බීමට ඔවුන්ට නොහැකි වූ නිසා මිසර දේශ වාසීහු සෑම දෙන ම වතුර බීම සඳහා ගඟ අසල වළවල් කැණූ හ.</verse>
				<verse number="25">තවද, සමිඳාණන් වහන්සේ මෙලෙස ගඟේ දියට ගැසූ පසු දවස් හතක් ගත විය.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “පාරාවෝ වෙත ගොස්, ඔහු අමතා, ‘සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය: මට වැඳුම්පිදුම් කරන පිණිස මාගේ සෙනඟට යන්න අවසර දෙන්න.</verse>
				<verse number="2">ඔබ ඔවුන්ට යන්න අවසර නුදුන්නොත් මෙන්න, මම ඔබේ මුළු රටට ම මැඩි වසංගතයකින් පහර දෙමි.</verse>
				<verse number="3">එවිට නයිල් ගඟ මැඩියන්ගෙන් පිරී ඉතිරී යන්නේ ය. මැඩියෝ එයින් පිට වී ඔබේ මාලිගාවට ද ඔබේ යහන් ගබඩාවට ද ඔබේ යහනට ද ඔබේ නිලධාරීන්ගේ නිවාසවලට ද ඔබේ සෙනඟ වෙතට ද ඔබේ උදුන්වලට හා පිටි බඳුන්වලට ද පනින්නෝ ය.</verse>
				<verse number="4">තවද, උන් ඔබේ ඇඟටත්, ඔබේ ජනතාවගේ හා සියලු නිලධාරීන්ගේ ඇඟටත් පනිනු ඇත’ කියා කියන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="5">උන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ ‘මිසර දේශයෙහි මැඩියන් හටගන්න පිණිස එහි ගංගා, ඇල දොළ, පොකුණු මත ඔබේ සැරයටිය ගෙන අත දිගු කරන්න’ කියා ආරොන්ට දන්වන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="6">ආරොන් මිසරයේ ජලය මත තම අත දිගු කළ විට මැඩියෝ මතු වී මිසර දේශය වසාගත්හ.</verse>
				<verse number="7">ඉන්ද්‍රජාලිකයෝ ද තමන්ගේ ඇස් බැන්දුම් මඟින් එලෙස කර මිසර දේශයෙහි මැඩියන් හටගන්නට සැලැස්වූ හ.</verse>
				<verse number="8">එවිට පාරාවෝ මෝසෙස් හා ආරොන් කැඳවා, “මාගෙන් ද මාගේ සෙනඟගෙන් ද මැඩියන් පහ කරන ලෙස සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්න. සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරන පිණිස මම සෙනඟට යන්න අවසර දෙමි”යි කී ය.</verse>
				<verse number="9">එවිට මෝසෙස් පාරාවෝට කතා කොට, “ඔබෙන් හා ඔබේ නිවසේවලින් මැඩියන් පහකොට උන් ගංගාවේ පමණක් රඳවාලන පිණිස ඔබ ද ඔබේ නිලධාරීන් හා සෙනඟ ද වෙනුවෙන් මා කවදා යාච්ඤා කළ යුතු ද කියා මම ගෞරවපූර්වක ව අයැදිමි”යි කීවේ ය.</verse>
				<verse number="10">ඔහු පිළිතුරු දෙමින්, “හෙට ය”යි කී විට, “ඔබ කී ලෙස එසේ වනු ඇත. එවිට අපේ දෙවියන් වහන්සේ හා සමාන වෙන කිසි සමිඳාණන් වහන්සේ කෙනෙකු නැති බව ඔබ දැනගන්නෙහි ය.</verse>
				<verse number="11">මැඩියෝ ඔබෙන් හා ඔබේ නිවාසවලින් ද, ඔබේ නිලධාරීන්ගෙන් හා සෙනඟගෙන් ද ඉවත ගොස් ගංගාවෙහි පමණක් සිටිනු ඇතැ”යි කී ය.</verse>
				<verse number="12">ඉන්පසු මෝසෙස් හා ආරොන් පාරාවෝ වෙතින් නික්ම ගියහ. මෝසෙස්, පාරාවෝට පීඩා කිරීමට සැලැසූ මැඩියන් ගැන සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය.</verse>
				<verse number="13">මෝසෙස් ඉල්ලූ පරිදි උන් වහන්සේ ඉටු කළ සේක. ගෙවල ද ගෙමිදුල්වල ද කෙත්වල ද සිටි මැඩියෝ මැරුණාහ.</verse>
				<verse number="14">උන් එකතු කොට ගොඩගැසූ කල මුළු රට ම දුගඳ විය.</verse>
				<verse number="15">එහෙත් සහනයක් ලැබුණු බව පාරාවෝ දුටු විට, සමිඳාණන් වහන්සේ කලින් කී ලෙස ම ඔහු තම සිත දැඩි කොට, මෝසෙස් හා ආරොන් කී දේ සැලකුවේ නැත.</verse>
				<verse number="16">තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ ‘නුඹේ සැරයටිය දිගු කොට පොළොවේ දූවිල්ලට ගසන්න, එවිට මුළු මිසර දේශය පුරා ඇති දූවිල්ල කිනිතුල්ලන් බවට හැරෙනු ඇත’ කියා ආරොන්ට දන්වන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="17">ඔව්හු එසේ කළහ. ආරොන් සැරයටිය ගෙන අත දිගු කොට එයින් පොළොවේ දූවිල්ලට ගැසූ විට ඒවා මිනිසාගේ සහ මෘගයාගේ ඇඟේ වසන කිනිතුල්ලන් බවට පත් විය. මුළු මිසර දේශය පුරා පොළොවේ සියලු දූවිල්ල කිනිතුල්ලන් බවට පත් විය.</verse>
				<verse number="18">එවිට ඉන්ද්‍රජාලිකයන් ද තමන්ගේ ඇස්බැන්දුම් මඟින් කිනිතුල්ලන් හටගැන්වීමට වැර දැරූ නමුත් ඔව්හු ඊට අපොහොසත් වූ හ. මෙලෙස මිනිසා පිට හා මෘගයන් පිටත් කිනිතුල්ලෝ බෝ වූ හ.</verse>
				<verse number="19">ඉන්ද්‍රජාලිකයන් පාරාවෝට කතා කොට, “මෙය දෙවියන් වහන්සේගේ ක්‍රියාවකි”යි කී නමුත් සමිඳාණන් වහන්සේ වදාළ පරිදි ඔහු තම සිත දැඩි කරගෙන ඔවුන් කී දේ සැලකුවේ නැත.</verse>
				<verse number="20">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතාකොට, “අලුයම නැඟිට, පාරාවෝ ගංගාව බලා එන වේලාවේ දී ඔහු හමු වීමට ගොස්, ‘සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය’යි කියන්න, ‘මට වැඳුම්පිදුම් කරන පිණිස යන්නට මාගේ සෙනඟට අවසර දෙන්න.</verse>
				<verse number="21">මාගේ සෙනඟට යන්න ඔබ අවසර නොදෙන්නෙහි නම් බලන්න, මම මැසි රංචු රංචු ඔබ පිට ද ඔබේ නිලධාරීන් හා ජනයා පිට ද ගෙවලට ද එවන්නෙමි. එවිට මිසර වාසීන්ගේ ගෙවල් ද ඔවුන් සිටින භූමිය ද මැසි රංචුවලින් පිරී යනු ඇත.</verse>
				<verse number="22">එහෙත් එදින, මාගේ සෙනඟ පදිංචි වී සිටින ගෝෂෙන් ප්‍රදේශය වෙන් කරමි. එහි නම් මැසි රංචු නොසිටිනු ඇත. මා එසේ කරන්නේ, මිහි පිට වැඩ සිටින සමිඳාණන් වහන්සේ මා බව ඔබ දැනගන්නා පිණිස ය.</verse>
				<verse number="23">තවද, මාගේ සෙනඟ හා ඔබේ සෙනඟ අතර වෙනසක් කරමි. මේ හාස්කම හෙට සිදු වන්නේ ය’ ”යි වදාළ සේක.</verse>
				<verse number="24">සමිඳාණන් වහන්සේ එලෙස ම කළ සේක. පාරාවෝගේ මාලිගාවට ද ඔහුගේ නිලධාරීන්ගේ ගෙවලට ද මුළු මිසර දේශය හැම තැනට ද මැස්සෝ විශාල රංචු රංචු පිටින් පැමිණියහ. රට ද මැසි රංචු නිසා නාස්ති විය.</verse>
				<verse number="25">එවිට පාරාවෝ මෝසෙස් හා ආරොන් කැඳවා, “යන්න, නුඹලා මේ දේශයෙහි ම නුඹලාගේ දෙවියන් වහන්සේට පුද පූජා ඔප්පු කරන්නැ”යි කී ය.</verse>
				<verse number="26">මෝසෙස් පිළිතුරු දෙමින්, “එසේ කිරීම හරි නැත. මන්ද, අපේ දෙවි සමිඳාණන් වහන්සේට අප පූජා කරන සතුන් මිසර වාසීන්ට පිළිකුලක් වන බැවිනි. හොඳයි, ඔවුන්ගේ ඇස් ඉදිරියෙහි ම ඔවුන් පිළිකුලක් මෙන් සලකන පූජා අප ඔප්පු කළොත් ඔවුන් අපට ගල් ගසන්නේ නැද් ද?</verse>
				<verse number="27">අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට අණ කළ පරිදි අපි, තුන් දවසක දුර පාළුකරයට ගොස්, උන් වහන්සේට පුද පූජා ඔප්පු කරන්නෙමු”යි කී ය.</verse>
				<verse number="28">එවිට පාරාවෝ කතා කොට, “පාළුකරයේ දී නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරන පිණිස නුඹලා බොහෝ දුර නොයන්නහු නම් මම නුඹලාට යන්න අවසර දෙමි. මා වෙනුවෙන් ද යාච්ඤා කරන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="29">මෝසෙස් ඊට උත්තර දෙමින්, “මෙන්න, මා ඔබ වෙතින් ගිය කෙණෙහි ම, හෙට පාරාවෝගෙන් ද නිලධාරීන්ගෙන් ද සෙනඟගෙන් ද මැසි රංචු පලා යන ලෙස, මම සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්නෙමි. එහෙත්, සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරනු පිණිස සෙනඟට යන්න අවසර නොදෙන ලෙස පාරාවෝ කපටිකමින් තවදුරටත් ක්‍රියා නොකළ යුතු ය”යි කීවේ ය.</verse>
				<verse number="30">මෝසෙස් පාරාවෝ වෙතින් ඉවතට ගොස් සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය.</verse>
				<verse number="31">උන් වහන්සේ ඔහු ඉල්ලූ ලෙස ඉටු කරමින් පාරාවෝගෙන් ද ඔහුගේ නිලධාරීන්ගෙන් ද ඔහුගේ සෙනඟගෙන් ද මැසි රංචු පහකළ සේක. එවිට එකෙක් වත් ඉතිරි නො වී ය.</verse>
				<verse number="32">එහෙත්, පාරාවෝ මේ වතාවේ ද තම සිත දැඩි කරගනිමින් සෙනඟට යන්න අවසර නුදුන්නේ ය.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “පාරාවෝ වෙත ගොස් ඔහු අමතා, ‘හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය’යි කියන්න, ‘මා හට නමස්කාර කරන පිණිස යන්නට මාගේ සෙනඟට අවසර දෙන්න.</verse>
				<verse number="2">ඔබ ඔවුන්ට යන්න අවසර නො දී, තවදුරටත් ඔවුන් වැළැකුවහොත්</verse>
				<verse number="3">මෙන්න, කෙතෙහි සිටින ඔබේ ගවසම්පත් වන, අසුන්ට හා කොටළුවන්ට ද, ඔටුවන්ට හා ගොනුන්ට ද, බැටළුවන්ට ද, සමිඳාණන් වහන්සේගේ හස්තය ඉතා බිහිසුණු වසංගතයකින් පහර දෙන්නේ ය.</verse>
				<verse number="4">එහෙත් සමිඳාණන් වහන්සේ වන මම ඉශ්රායෙල් ජනයාගේ ගවයන් හා මිසර වාසීන්ගේ ගවයන් අතර වෙනසක් දක්වන්නෙමි. ඉශ්රායෙල් ජනයා සතු මුළු ගවසම්පතින් එක සතෙක් වත් නොමැරෙන්නේ ය.</verse>
				<verse number="5">තවද, උන් වහන්සේ වේලාවක් ද නියම කරමින්, ‘හෙට සමිඳාණන් වහන්සේ මේ දේ මේ රටේ ඉටු කරනු ඇතැ’ ”යි වදාළ සේක.</verse>
				<verse number="6">පසුදින උන් වහන්සේ එලෙස කළ සේක. එවිට මිසරයේ ගවසම්පත මුළුමනින් ම වැනසිණි. එහෙත්, ඉශ්රායෙල් ජනයාගේ ගවසම්පතින් එකෙක් වත් නොමළේ ය.</verse>
				<verse number="7">පාරාවෝ පණිවුඩකාරයන් යැවූ විට ඉශ්රායෙල් ජනයාගේ ගවසම්පතින් එකෙකු වත් නොමළ බව දිටී ය. එහෙත්, ඔහුගේ සිත දැඩි වූයෙන් ඔහු සෙනඟට යන්න අවසර නුදුන්නේ ය.</verse>
				<verse number="8">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට, “උදුනින් අළු අහුරක් ගන්න. පාරාවෝ බලා සිටිය දී මෝසෙස් ඒවා අහසට විසි කළ යුතු ය.</verse>
				<verse number="9">එවිට ඒවා මුළු මිසර දේශය පුරා සිහින් ධූලි වී, මුළු මිසර දේශයේ සිටින මිනිසුන් හා මෘගයන් මත වණ සහිත ගඩු ඇති කරන්නේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="10">ඔව්හු උදුනින් අළු ගෙන පාරාවෝ ඉදිරිපිට සිට ගත්හ. එවිට මෝසෙස් අහස දෙසට එය විසි කළ විට, එය මිනිසුන් හා මෘගයන් මත වණ සහිත ගඩු ඇති කෙළේ ය.</verse>
				<verse number="11">එවිට ගඩු නිසා ඉන්ද්‍රජාලිකයන්ට මෝසෙස් ඉදිරිපිට සිටින්න නොහැකි විය. මන්ද, ඉන්ද්‍රජාලිකයන් හා මිසර වාසීන් සියල්ලන් මත ගඩු හට ගැනිණි.</verse>
				<verse number="12">එහෙත්, සමිඳාණන් වහන්සේ පාරාවෝගේ සිත දැඩි කළ සේක. උන් වහන්සේ මෝසෙස්ට වදාළ පරිදි ඔහු ඔවුන් කී දේ සැලකුවේ නැත.</verse>
				<verse number="13">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “අලුයම නැඟිට පාරාවෝ ඉදිරියට ගොස් ඔහු අමතා, ‘හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය’යි කියන්න. එනම්, ‘මා හට නමස්කාර කරන පිණිස යන්නට මාගේ සෙනඟට අවසර දෙන්න.</verse>
				<verse number="14">ඒ මන්ද, මම මේ වතාවේ ඔබ පිට ද ඔබේ නිලධාරීන් හා සෙනඟ පිට ද වසංගත සියල්ල ම එවන්නෙමි. එවිට මුළු මිහි පිට මා වැනි අන් කෙනෙකු නැති බව ඔබ දැනගන්නෙහි ය.</verse>
				<verse number="15">මම අත දිගු කොට ඔබට ද ඔබේ සෙනඟට ද ලෙඩ රෝගවලින් පහර දුනිම් නම් ඔබ පොළොවෙන් තුරන් වී යන්නට ඉඩ තිබිණි.</verse>
				<verse number="16">එහෙත්, ඔබට මාගේ බලපරාක්‍රමය පෙන්වන පිණිසත්, මාගේ නාමය මුළු ලෝකය පුරා ප්‍රකාශ වන පිණිසත් ඔබට ජීවත් වන්නට ඉඩ හැරියෙමි.</verse>
				<verse number="17">එහෙත්, ඔබ තවමත් මාගේ සෙනඟට විරුද්ධ ව අහංකාරකම් පාමින්, ඔවුන්ට යන්න අවසර නොදෙන්නෙහි ය.</verse>
				<verse number="18">බලන්න, හෙට මේ වේලාවට පමණ, මිසරයේ ආරම්භයේ සිට අද දක්වා, එහි නුවූ විරූ, ඉතා දරුණු ගල් වර්ෂාවක් මම වස්වන්නෙමි.</verse>
				<verse number="19">එබැවින් දැන් ඉතින් පණිවුඩ යවා කෙත්වල සිටින ගවසම්පතට හා නුඹ සතු සියල්ලට ආරක්ෂා සලසන්න. ගෙට නොගෙන්වාගෙන, කෙත්වල සිටින සියලු මිනිසුන් හා සතුන් පිට ගල් වැස්ස වැටේ. ඔව්හු නසින්නෝ ය’ ”යි වදාළ සේක.</verse>
				<verse number="20">පාරාවෝගේ නිලධාරීන් අතර සමිඳාණන් වහන්සේගේ වචනයට බිය වූ සමහරෙක් තමන්ගේ වහලුන් හා ගවසම්පත ගෙවලට ගත්හ.</verse>
				<verse number="21">එහෙත්, සමිඳාණන් වහන්සේගේ වචනය නොතැකූ අය තම වහලුන් හා ගවසම්පත කෙත්වල ම සිටින්නට හැරියෝ ය.</verse>
				<verse number="22">එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “මුළු මිසර දේශය පුරා ගල් වර්ෂාව වැස, මුළු මිසර දේශයෙහි සිටින මිනිසුන් හා මෘගයන් ද කෙතෙහි සෑම පැළෑටි ද මත එය වැටෙන පිණිස, ඔබේ අත අහස දෙසට දිගු කරන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="23">ඔහු තම සැරයටිය අහස දෙසට දිගු කළ විට, සමිඳාණන් වහන්සේ මේඝ ගර්ජනා ද, ගල් වර්ෂා ද එවූ සේක. පොළොව මත ගිනි පතිත විය. මුළු මිසර දේශයට ම උන් වහන්සේ ගල් වර්ෂාව වැටෙන්නට සැලැසූ සේක.</verse>
				<verse number="24">මෙලෙස ඉතා වේගවත් ලෙස ගල් වර්ෂා ද ගල් වර්ෂා සමඟ විදුලි කෙටීම් ද විය. මෙවැන්නක් මුළු මිසර දේශය පුරා එම රට ජාතියක් වූ දින සිට කවදා වත් සිදු නොවිණි.</verse>
				<verse number="25">ගල් වර්ෂාව මුළු මිසර දේශය පුරා කෙතේ සිටි සියලු මිනිසුන්ට හා මෘගයන්ට පහර දුනි. තවද එය, කෙතෙහි වූ පැළෑටි සියල්ලට ද පහර දෙමින් එහි වූ ගස් සියල්ල ද බිඳදැමී ය.</verse>
				<verse number="26">එහෙත්, ඉශ්රායෙල් ජනයා විසූ ගෝෂෙන් දේශයෙහි පමණක් ගල් වර්ෂාව නො වී ය.</verse>
				<verse number="27">එවිට පාරාවෝ පණිවුඩ යවා මෝසෙස් හා ආරොන් කැඳවා, ඔවුන්ට කතා කොට, “මෙවර මම පව් කෙළෙමි; සමිඳාණන් වහන්සේ කළ දේ හරි ය; මාගේ සෙනඟත්, මාත් කළ දේ වැරදි ය.</verse>
				<verse number="28">අහස් ගිගුරුම සහ ගල් වර්ෂාව නවත්වන ලෙස සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්න. මම ද නුඹලාට යන්න අවසර දෙමි. නුඹලා තවත් මෙහි නැවතීම උවමනා නැතැ”යි කී ය.</verse>
				<verse number="29">මෝසෙස් ඔහුට උත්තර දෙමින්, “මම නුවරින් පිටත ගිය කෙණෙහි ම සමිඳාණන් වහන්සේ වෙත මාගේ අත ඔසවමි. මිහිතලය සමිඳාණන් වහන්සේට අයිති බව දැනගනු පිණිස, අහස් ගිගුරුම් නවතිනු ඇත. ගල් වර්ෂා ද තවත් ඇති නොවේ.</verse>
				<verse number="30">එහෙත්, ඔබත් ඔබේ නිලධාරීනුත් තව ම දෙවි සමිඳාණන් වහන්සේට බිය නොවන බව මම දනිමි”යි කීවේ ය.</verse>
				<verse number="31">එවකට යව පැසෙමින් තිබුණු නිසාත්, හණ පීදෙමින් තිබුණු නිසාත් හණ සහ යව වැනසිණි.</verse>
				<verse number="32">එහෙත් තිරිඟු හා තණහාල් පමා වී පීදෙන බැවින් ඒවා නොවැනසිණි.</verse>
				<verse number="33">මෝසෙස්, පාරාවෝ වෙතින් අහක් වී නුවරින් පිටත ගොස් සමිඳාණන් වහන්සේ වෙත අත් එසවී ය. මේඝ ගර්ජනා හා ගල් වර්ෂා නැවතිණි. වැස්ස ද පොළොව මත නොවැටිණි.</verse>
				<verse number="34">වැස්සත්, ගල් වර්ෂාවත්, මේඝ ගර්ජනාවත් නැවතුණු බව පාරාවෝ දුටු කල ඔහු නැවත පව් කෙළෙන්, ඔහු ද නිලධාරීහු ද තම සිත් දැඩි කොටගත්හ.</verse>
				<verse number="35">පාරාවෝගේ සිත දැඩි විය. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාළ පරිදි ඔහු ඉශ්රායෙල් ජනයාට යන්න අවසර නුදුන්නේ ය.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “පාරාවෝ වෙත යන්න, මා ඔහුගේ සිත ද ඔහුගේ නිලධාරීන්ගේ සිත් ද දැඩි කෙළේ ඔවුන් මැද මාගේ මේ හාස්කම් පාන පිණිස ය.</verse>
				<verse number="2">ඇරත් මිසරයට මා සමච්චල් කළ සැටි ද ඔවුන් මැද මා සිදු කළ හාස්කම් ද නුඹ නුඹේ පුතුන්ටත්, පුතුන්ගේ පුතුන්ටත් කියන පිණිස ය. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා සැම දැනගන්නහු ය”යි වදාළ සේක.</verse>
				<verse number="3">මෝසෙස් හා ආරොන් පාරාවෝ වෙත පැමිණ ඔහුට කතා කොට, “හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය; එනම්, ‘ඔබ කොපමණ කාලයක් මට යටත්වීම ප්‍රතික්ෂේප කරන්නෙහි ද? මා හට වැඳුම්පිදුම් කරනු පිණිස යන්නට මාගේ සෙනඟට අවසර දෙන්න.</verse>
				<verse number="4">මාගේ සෙනඟට යන්න අවසර නුදුන්නොත්, මම හෙට ඔබේ රටට පළඟැටියන් ගෙනෙන්නෙමි.</verse>
				<verse number="5">පොළොව නොපෙනී යන තරමට ම උන් පොළෝ තලය වසාගනු ඇත. ගල් වර්ෂාවෙන් බේරී ඔබට ඉතිරි වූ සෙස්ස ද කෙතෙහි ඔබේ ප්‍රයෝජනය සඳහා වැඩෙන සැම ගහක් ද උන් කා දමනු ඇත.</verse>
				<verse number="6">ඔබේ මාලිගා ද ඔබේ නිලධාරීන්ගේ ගෙවල් ද මිසර වැසි සියල්ලන්ගේ ගෙවල් ද උන්ගෙන් පිරී යන්නේ ය. ඔබේ පියවරුන් වත්, පියවරුන්ගේ පියවරුන් වත් ඔවුන් මෙරට පදිංචි වූ දින පටන් අද දක්වා මෙවැන්නක් දකින්නට නැතැ’ ”යි කී හ. ඉන්පසු ඔව්හු පාරාවෝ වෙතින් හැරී යන්න ගියෝ ය.</verse>
				<verse number="7">එවිට පාරාවෝගේ නිලධාරීහු ඔහු අමතමින්, “මේ මිනිසා කෙතරම් කාලයක් අපට හිරිහැර කරන්න යන්නේ ද? ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන පිණිස සෙනඟට යන්න හරින්න, මිසරය වැනසී යන බව ඔබ නොදන්නෙහි දැ”යි ඇසූ හ.</verse>
				<verse number="8">මෝසෙස් හා ආරොන් පාරාවෝ වෙතට නැවත ගෙනෙනු ලැබූ හ. පාරාවෝ ඔවුන්ට කතා කොට, “නුඹලාට යන්න පුළුවන, ගොස් නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. එහෙත්, යන අය කවුරු දැ”යි ඇසුවේ ය.</verse>
				<verse number="9">මෝසෙස් උත්තර දෙමින්, “අප විසින් සමිඳාණන් වහන්සේට මංගල්‍යයක් පැවැත්විය යුතු නිසා, අපේ බාලයන් සහ මහල්ලන් ද අපේ පුතුන් සහ දූවරුන් ද අපේ එළු බැටළු සහ ගව පට්ටි ද සමඟ අපි යන්නෙමු”යි කීවේ ය.</verse>
				<verse number="10">එවිට ඔහු ඔවුන් අමතා, “නුඹලාට දෙවි පිහිට යි! එහෙත්, දරුදැරියන් හා ස්ත්‍රීන් සමඟ යන්නට මම අවසර නො දෙමි. නුඹලා නපුරක් කරන්න යන බව පෙනේ.</verse>
				<verse number="11">ඊට ඉඩ නොදෙනු ඇත. දැන් ඉතින් නුඹලා පිරිමි පක්ෂය ගොස් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. නුඹලාට උවමනා කෙළේ එය නොවේ ද” කියා තමා වෙතින් ඔවුන් පන්නාදැමී ය.</verse>
				<verse number="12">එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “පළඟැටියන් එන පිණිස මිසර දේශය දෙස ඔබේ අත දිගු කරන්න. උන් මිසර දේශයට වැදී රටේ ඇති සැම පැළෑටියක් ද ගල් වර්ෂාවෙන් බේරී ඉතිරි වූ සියල්ල ද කාදමනු ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="13">මෝසෙස් ද මිසර දේශය දෙස තම සැරයටිය එසවී ය. එවිට සමිඳාණන් වහන්සේ එදින මුළු දිවා රෑ දෙක්හි මිසර දේශය පුරා පෙරදිගින් සුළඟක් හමන්නට සැලැසූ සේක. පහන් වූ විට පෙරදිගින් හැමූ සුළඟ පළඟැටියන් ගෙනාවේ ය.</verse>
				<verse number="14">උන් මුළු මිසර දේශයට වැදී මුළු රට පුරා පැතිර ගියහ. එවැනි විශාල පළඟැටි රංචුවක් ඊට කලින් නම් නො වී ය; මතු ද නොවනු ඇත.</verse>
				<verse number="15">උන් මුළු පොළෝ තලය ම වසාගත් බැවින් රට අඳුරු විය. උන් මිහි පිට වූ පැළෑටි සියල්ල ද ගල් වර්ෂාවෙන් බේරුණු ගස්වල ගෙඩි සියල්ල ද කාදැමූ හ. මෙලෙස මිසර දේශය පුරා ගසක අමු කොළයක් වත්, කෙතක පැළෑටියක් වත් ඉතිරි නො වී ය.</verse>
				<verse number="16">එවිට පාරාවෝ මෝසෙස් හා ආරොන් වහා කැඳවා, “නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේට ද, නුඹලාට ද විරුද්ධ ව මම පව් කෙළෙමි.</verse>
				<verse number="17">දැන් ඉතින් කරුණාකර, මේ අන්තිම වතාවට මාගේ පාපයට කමා වී, මේ මාරක වසංගතය මගෙන් ඉවත් කරන ලෙස නුඹලාගේ දෙවියන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි කී ය.</verse>
				<verse number="18">මෝසෙස් ද පාරාවෝ වෙතින් ගොස් සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය.</verse>
				<verse number="19">සමිඳාණන් වහන්සේ අපරදිගින් වේගවත් සුළඟක් හමන්නට සැලැසූ සේක. එය පළඟැටියන් ගසාගෙන ගොස් උන් රතු මුහුදට දැමී ය. ඉන්පසු මිසර දේශය පුරා එක පළඟැටියෙක් වත් ඉතිරි නො වී ය.</verse>
				<verse number="20">එහෙත්, සමිඳාණන් වහන්සේ පාරාවෝගේ සිත දැඩි කළ සේක. පාරාවෝ ඉශ්රායෙල් ජනයාට යන්නට අවසර නුදුන්නේ ය.</verse>
				<verse number="21">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “අහස දෙසට අත දිගු කරන්න. එවිට අන්ධකාරයක් - අතගා බලන්න හැකි තරම් ඝනාන්ධකාරයක්, මිසර දේශය වසාගන්නේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="22">මෝසෙස් ද අහස දෙසට තම අත දිගු කළ විට තුන් දිනක් පුරා මුළු මිසර දේශයෙහි ඝනාන්ධකාරයක් ඇති විය.</verse>
				<verse number="23">එවිට තුන් දිනක් පුරා ඔවුන්ට එකිනෙකා නොපෙනී ගොස් ඔව්හු සිටි තැන ම නොසෙල්වී සිටියහ. එහෙත්, මුළු ඉශ්රායෙල් ජනතාවට තමන් විසූ තැන්වල ආලෝකය ඇති විය.</verse>
				<verse number="24">එවිට පාරාවෝ මෝසෙස් කැඳවා, “යන්න, සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. ඔබේ දරුදැරියන්ට හා ස්ත්‍රීන්ට පවා යෑමට අවසර දෙමි. එළු බැටළු හා ගව පට්ටි පමණක් මෙහි නවතාලන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="25">මෝසෙස් එවිට ඔහුට උත්තර දෙමින්, “අප දෙවි සමිඳාණන් වහන්සේට පුද පූජා කරන පිණිස ඔබ අපට යාග හා දවන පඬුරු ද දිය යුතු ය.</verse>
				<verse number="26">එබැවින් අපගේ ගවසම්පත ද අප සමඟ යා යුතු ය. එක සතෙකු වත් මෙහි ඉතුරු නොකරනු ඇත. අප එහි යන තෙක් සමිඳාණන් වහන්සේට කුමකින් වැඳුම්පිදුම් කළ යුතු ද කියා අපි නොදනිමු”යි කී ය.</verse>
				<verse number="27">එහෙත්, සමිඳාණන් වහන්සේ පාරාවෝගේ සිත දැඩි කළ සේක. පාරාවෝ ඔවුන්ට යන්න අවසර නුදුන්නේ ය.</verse>
				<verse number="28">ඔහු මෝසෙස්ට කතා කොට, “මෙතැනින් පලා යන්න; මින්පසු නම් මා ඉදිරියට නොඑන්නට බලාගන්න, මා නුඹ දකින්නේ කවර දිනක ද එදින නුඹ නසිනු ඇතැ”යි කී ය.</verse>
				<verse number="29">“ඔබ කියන ලෙස ම වේ වා! මින්පසු මම නම් ඔබේ මුහුණ නොදකින්නෙමි”යි මෝසෙස් උත්තර දුන්නේ ය.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්, “පාරාවෝ සහ මිසරය පිට මම තව එක වසංගතයක් පමුණුවමි. ඉන්පසු ඔහු මෙතැනින් නුඹලාට යන්න අවසර දෙනු ඇත. තවද, ඔහු නුඹලාට යන්න අවසර දෙන විට ‘ඇත්තට ම මෙතැනින් නුඹලා සහමුලින් ම පන්නාදමනු ඇත.</verse>
				<verse number="2">සෑම පිරිමියෙකු ම තම අසල්වැසියාගෙන් ද, සෑම ස්ත්‍රියක ම තම අසල්වැසියාගෙන් ද රන් රිදී ආභරණ ඉල්ලාගන්න ලෙස දැන් සෙනඟට දන්වන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="3">සමිඳාණන් වහන්සේ මිසර වැසියන්ගෙන් තම සෙනඟට ප්‍රසාදය ලබා දුන් සේක. මෝසෙස් මිසර දේශයෙහි පාරාවෝගේ නිලධාරීන් හා සෙනඟ ඉදිරියෙහි අතිශ්‍රේෂ්ඨයෙක් විය.</verse>
				<verse number="4">එවිට මෝසෙස් පාරාවෝට කතා කොට, “සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය: ‘මධ්‍යම රාත්‍රිය පමණේ දී මම මිසර දේශය මැදින් යන්නෙමි.</verse>
				<verse number="5">සිහසුන් අරා සිටින පාරාවෝගේ කුලුඳුල් පුත්‍රයා පටන් ඇඹරුම් ගල පිටුපස සිටින සේවිකාවගේ කුලුඳුලා දක්වා, මිසර දේශයේ සිටින සියලු කුලුඳුලන් මැරෙනු ඇත. මෘගයන්ගේ කුලුඳුලෝ ද මැරෙන්නෝ ය.</verse>
				<verse number="6">මිසර දේශය පුරා මෙතෙක් නො වූ විරූ මතු ද නො වන මහා අඳෝනාවක් ඇති වන්නේ ය.</verse>
				<verse number="7">එහෙත් ඉශ්රායෙල් ජනයා අතර මිනිසෙකුට වත්, මෘගයෙකුට වත් විරුද්ධ ව බල්ලෙකු පවා බුරන්නේ නැත. සමිඳාණන් වහන්සේ වන මා මිසර වැසියන් හා ඉශ්රායෙල් ජනයා අතර වෙනසක් ඇති කළ බව මේ කාරණයෙන් නුඹලා දැනගන්නහු ය.</verse>
				<verse number="8">එවිට ඔබේ මේ නිලධාරීහු සියලු දෙනා මා වෙත අවුත් මා හමුවෙහි වැඳ වැටී, ‘නුඹ, නුඹේ පිරිවර සමඟ පලා යනු’යි කියනු ඇත. ඉන්පසු මම නික්ම යන්නෙමි”යි කී ය. මෙසේ කී පසු මෝසෙස් උදහසින් දිළිහෙමින් පාරාවෝ වෙතින් නික්ම ගියේ ය.</verse>
				<verse number="9">සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “මිසර දේශයේ මාගේ හාස්කම් වැඩි වනු පිණිස පාරාවෝ නුඹට සවන් නොදෙනු ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="10">මෝසෙස් හා ආරොන් පාරාවෝ ඉදිරියෙහි මේ සියලු හාස්කම් පෑ හ. සමිඳාණන් වහන්සේ ද පාරාවෝගේ සිත දැඩි කළ සේක. ඔහු ඉශ්රායෙල් ජනතාවට තම රටින් නික්ම යෑමට අවසර නුදුන්නේ ය.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මිසර දේශයේ දී මෝසෙස් සහ ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“මේ මාසය, හැම මාසවලට ම මුල් මාසය විය යුතු ය; අවුරුද්දේ පළමු වන මාසය ද විය යුතු ය.</verse>
				<verse number="3">නුඹලා මුළු ඉශ්රායෙල් ජනතාව අමතා, මෙසේ නිවේදනය කළ යුතු ය. ‘මේ මාසයේ දස වන දින, හැම මිනිසෙක් ම එක් ගෙදරකට බැටළු පැටවෙකු බැගින් පවුලකට බැටළු පැටවෙකු සපයාගත යුතු ය.</verse>
				<verse number="4">යම් ගෙදරක වැසියන්ට එක බැටළු පැටවෙකු වැඩි නම් ඔවුන්, අසල්වැසි ගෙදර අයගේ සංබ්‍යාව අනුව, ඊට හවුල් කරගත යුතු ය. බැටළු පැටවා අනුභව කරන්නන්ගේ ගණන, ගිණිය යුත්තේ එක් එක්කෙනා අනුභව කරන ප්‍රමාණය අනුව ය.</verse>
				<verse number="5">නුඹලා ගන්න බැටළු පැටවා කැළැල් රහිත, අවුරුද්දක් වයසැති පිරිමි සතෙකු විය යුතු ය. තවද, බැටළුවන් හෝ එළුවන් හෝ අතරෙන් එවැනි එකෙකු තෝරාගත හැකි ය.</verse>
				<verse number="6">එම මාසයේ ම දහහතර වන දින දක්වා ඌ තබාගෙන, එදින හවස රැස් වන මුළු ඉශ්රායෙල් ජනතාව ඌ මැරිය යුතු ය.</verse>
				<verse number="7">“ඉන්පසු උගේ ලෙයින් ටිකක් රැගෙන බැටළු පැටවා අනුභව කරන අයගේ ගෙදර දොරේ උළුවහු කණු දෙකේ ද උළුවස්සේ උඩ ලීයේ ද තැවරිය යුතු ය.</verse>
				<verse number="8">එම රාත්‍රියේ දී උගේ මාංස අනුභව කළ යුතු ය. එය අනුභව කළ යුත්තේ මඳ ගින්නේ පුළුස්සා, නුමුහුන් රොටි හා තිත්ත පලා සමඟ ය.</verse>
				<verse number="9">ඉන් කිසිවක් අමුවෙන් හෝ වතුරෙන් තම්බා හෝ නොකෑ යුතු ය. උගේ හිස, කකුල්, බොකු හා මාංසය මඳ ගින්නේ බදින්නට උවමනා ය.</verse>
				<verse number="10">උදය කාලය දක්වා ඉන් කිසිවක් ඉතිරි නොකළ යුතු ය. උදය කාලය දක්වා යමක් ඉතිරි වී නම්, එය ගින්නෙන් පුළුස්සාදැමිය යුතු ය.</verse>
				<verse number="11">“තවද, නුඹ එය අනුභව කළ යුත්තේ මෙසේ ය: ඉඟපටිය බැඳ, පාවහන් ලා, සැරයටිය ගෙන, එය ලහි ලහියේ අනුභව කළ යුතු ය. මන්ද, එය සමිඳාණන් වහන්සේ වන මා හට පවත්වන පාස්කුව බැවිනි.</verse>
				<verse number="12">එදින රාත්‍රියේ මම මිසර දේශය මැදින් ගොස්, එහි මිනිසුන්ගේ හා මෘගයන්ගේ කුලුඳුලන්ට පහර දෙමි. තවද, මිසරයේ දෙවිදේවතාවුන් සියල්ලන්ට දඬුවම් පමුණුවමි. මම සමිඳාණන් වහන්සේ ය.</verse>
				<verse number="13">නුඹලා සිටින ගෙවල් මත තවරා ඇති ලේ නුඹලා ඒවායේ සිටින බවට ලකුණක් වන්නේ ය. මම ලේ දකින විට නුඹලා පසු කර යන්නෙමි. මිසර දේශයට මා පහර දෙන විට, ඒ මාරක දඬුවම නුඹලා වෙත නොපැමිණෙනු ඇත.</verse>
				<verse number="14">මේ දවස නුඹලාට අනුස්මරණ දිනයක් ලෙස ද සමිඳාණන් වහන්සේ වන මා හට මංගලෝත්සව දිනයක් ලෙස ද පැවැත්විය යුතු ය. තවද, මතු සියලු පරම්පරාවල ම එය සදහට ම මංගල දිනයක් සේ පැවැත්වීමට නියෝගයක් පැනවිය යුතු ය.”</verse>
				<verse number="15">“සත් දිනක් නුඹලා නුමුහුන් රොටි අනුභව කළ යුතු ය. පළමු වන දින නුඹලාගේ ගෙවලින් මුහුන් ඉවත් කළ යුතු ය. පළමු වන දින සිට හත් වන දින දක්වා, යමෙක් මුහුන් රොටි අනුභව කරන්නේ ද ඒ තැනැත්තා ඉශ්රායෙල් ජනයා වෙතින් නෙරපාදමනු ලැබේ.</verse>
				<verse number="16">පළමු වන දිනයෙහි ද, හත් වන දිනයෙහි ද ආගමික රැස්වීමක් පැවැත්විය යුතු ය. එම දිනවල හැම දෙනා ම කෑම පිළියෙළ කිරීම හැර අන් කිසි වැඩක් නොකළ යුතු ය.</verse>
				<verse number="17">තවද නුඹලා මේ නුමුහුන් රොටි මංගල්‍යය පැවැත්විය යුත්තේ මා නුඹලාගේ කණ්ඩායම් මිසර දේශයෙන් පිටතට ගෙනාවේ මෙවැනි දිනයක බැවිනි. එබැවින් නුඹලාගේ හැම පරම්පරාවක් තුළ ම මේ දිනය මංගල්‍යයක් මෙන් පැවැත්වීමට සදහට ම නියෝගයක් පැනවිය යුතු ය.</verse>
				<verse number="18">පළමු වන මාසයේ දහහතර වන දින හවස පටන්, විසිඑක් වන දින හවස දක්වා නුඹලා නුමුහුන් රොටි අනුභව කළ යුතු ය.</verse>
				<verse number="19">නුඹලාගේ ගෙවල දින හතක් ම මුහුන් නොතිබිය යුතු ය. යමෙකු මුහුන් මුසු යමක් අනුභව කළොත්, ඔහු විදේශිකයෙක් වේ වා, ස්වදේශිකයෙක් වේ වා, ඔහු ඉශ්රායෙල් ජනතාව කෙරෙන් නෙරපාදමනු ලැබේ.</verse>
				<verse number="20">මුහුන් මුසු කිසිවක් නුඹලා අනුභව නොකළ යුතු බැවින්, ගෙවල් සියල්ලෙහි ම නුඹලා නුමුහුන් රොටි අනුභව කළ යුතු ය.”</verse>
				<verse number="21">එවිට මෝසෙස් ඉශ්රායෙල් ජනතාවගේ ප්‍රජා මූලිකයන් කැඳවා, ඔවුන්ට කතා කොට, “ඔබ ගොස් ඔබේ පවුල්වලට ප්‍රමාණ වන බැටළු පැටවෙකු බැගින් තෝරාගෙන, ඒ පාස්කු බැටළුවා මරන්න.</verse>
				<verse number="22">ඉන්පසු හිසොප් කිනිත්තක් ගෙන තලියේ ඇති ලේවල එය ගල්වා, උළුවස්සේ උඩ ලීයේ හා දෙපස කණු දෙකෙහි තලියේ ඇති ලේ තවරන්න. උදය වන තෙක් ඔබගෙන් කිසිවකු තම ගෙයි දොරින් පිටතට නො යා යුතු ය.</verse>
				<verse number="23">මන්ද, සමිඳාණන් වහන්සේ මිසරයට පහර දීමට දේශය මැදින් යන සේක. මෙසේ යද්දී උළුවස්සේ උඩ ලීයේ හා දෙපස කණුවල ලේ උන් වහන්සේ දකින විට, එම දොර පසු කොට ගොස් ඔබ මැරීමට, මාරක දූතයාට ඔබගේ ගෙවලට ඇතුළු වීමට ඉඩ නොදෙන සේක.</verse>
				<verse number="24">තවද ඔබ, මේ පිළිවෙත, ඔබටත්, ඔබ දරුවන්ටත් සදහට ම දුන් නියෝගයක් වශයෙන් පිළිපැදිය යුතු ය.</verse>
				<verse number="25">සමිඳාණන් වහන්සේ පොරොන්දු වූ පරිදි, උන් වහන්සේ ඔබට දෙන්න යන දේශයට ඔබ පැමිණි විට, එහිදීත් මේ පිළිවෙත පැවැත්විය යුතු ය.</verse>
				<verse number="26">මේ පිළිවෙතේ තේරුම කුමක් ද කියා ඔබේ දරුවන් ඔබෙන් අසන විට</verse>
				<verse number="27">‘මෙය නම්, සමිඳාණන් වහන්සේගේ පාස්කු පූජාව ය. උන් වහන්සේ මිසරයට පහර දෙන විට, උන් වහන්සේ මිසර දේශයේ ඉශ්රායෙල් ජනයාගේ ගෙවල් පසු කොට ගොස් අපගේ ගෙවල් මිදූ සේකැ’යි කිව යුතු ය”යි පැවසී ය. එවිට සෙනඟ ද හිස නමා වැන්දෝ ය.</verse>
				<verse number="28">ඉශ්රායෙල් ජනයා ද පිටත් ව ගොස් සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට වදාළ පරිදි කළහ.</verse>
				<verse number="29">ඉන්පසු මධ්‍යම රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේ, සිහසුන් අරා සිටි පාරාවෝගේ කුලුඳුලා පටන් සිරගෙයි සිටි සිරකරුවාගේ කුලුඳුලා දක්වා, මිසර දේශයෙහි වසන කුලුඳුලන් සියල්ලන්ට සහ මෘගයන්ගේ කුලුඳුලන්ට පහර දුන් සේක.</verse>
				<verse number="30">පාරාවෝ ද ඔහුගේ නිලධාරීහු ද මිසර වාසී සියල්ලෝ ද රාත්‍රියෙහි අවදි වූ හ. මිසරයේ මහා අඳෝනාවකි, මළ අයෙකු නැති ගෙයක් නො වී ය.</verse>
				<verse number="31">එවිට පාරාවෝ රාත්‍රියේ දී ම මෝසෙස් හා ආරොන් කැඳවා, “නුඹලා සහ ඉශ්රායෙල් ජනයා නැඟිට, මාගේ සෙනඟ කෙරෙන් පලා ගොස්, නුඹලා කී පරිදි සමිඳාණන් වහන්සේට නමස්කාර කරන්න.</verse>
				<verse number="32">තවද, නුඹලා කිවූ පරිදි නුඹේ එළු බැටළු ගව පට්ටි ද රැගෙන යන්න. මට ද ආශීර්වාද කරන්නැ”යි කී ය.</verse>
				<verse number="33">“නැතහොත් අප හැම දෙන ම මැරෙන්නට පුළුවනැ”යි කියමින්, මිසර වැසියෝ ඉශ්රායෙල් ජනයාට වහා රටින් පිට වන ලෙස බල කළහ.</verse>
				<verse number="34">එවිට සෙනඟ ඇනූ පිටි පිපෙන්න කලින් ගෙන, තමන්ගේ පිටි අනන හට්ටි ද තම ඇඳුම්වල ඔතාගෙන කරේ තබාගත්හ.</verse>
				<verse number="35">ඉශ්රායෙල් ජනයා මෝසෙස් කී ලෙස කරමින්, මිසර වැසියන්ගෙන් රන් රිදී ආභරණ හා ඇඳුම් ඉල්ලාගත්හ.</verse>
				<verse number="36">සමිඳාණන් වහන්සේ මිසර වැසියන්ගෙන් තම සෙනඟට අනුග්‍රහය ලබා දුන් හෙයින් ඔව්හු ඉල්ලූ දේ දුන්හ. මෙලෙස ඉශ්රායෙල් ජනයා මිසර වැසියන්ගේ වස්තුව කොල්ලකාගත්හ.</verse>
				<verse number="37">ඉන්පසු ඉශ්රායෙල් ජනයා රාමෙසෙස් නුවර සිට සුක්කොත් දක්වා ගමන් කළහ. දරුවන් හා ස්ත්‍රීන් හැර, පයින් ගිය පුරුෂයෝ ම හයලක්ෂයක් පමණ වූ හ.</verse>
				<verse number="38">තවද, නා නා විධ විශාල සෙනඟක් ද ඔවුන්ට එකතු වී ගමන්ගත්හ. එළු බැටළු හා ගව පට්ටි ද සත්තු සිව්පාවෝ ද විශාල ගණනක් රංචු රංචු පිටින් ගියහ.</verse>
				<verse number="39">ඔව්හු මිසර දේශයෙන් පිටතට ගෙනා, ඇනූ නුමුහුන් පිටිවලින් රොටි පිළිස්සූ හ. මිසරයෙන් ඔවුන් නෙරපාදැමූ විට පමා වීමට ඉඩක් නොතිබුණු බැවින් මුහුන් දමා ඇනූ පිටි ඔවුන් සතු නො වී ය. තවද, කිසි ආහාරයක් පිළියෙළ කරගැනීමට ද ඔවුන්ට නොහැකි විය.</verse>
				<verse number="40">ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙහි පදිංචි ව සිටි මුළු කාලය අවුරුදු හාරසිය තිහක් විය.</verse>
				<verse number="41">මෙසේ අවුරුදු හාරසිය තිහක් අවසාන වූ දිනයෙහි ම සමිඳාණන් වහන්සේගේ සියලු සේනාවෝ මිසර දේශයෙන් නික්ම ගියෝ ය.</verse>
				<verse number="42">ඒ රාත්‍රියෙහි ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනෙනු පිණිස සමිඳාණන් වහන්සේ අවදි ව සිටි බැවින් සෑම පරම්පරාවක ම මුළු ඉශ්රායෙල් ජනයා, සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස අවදි ව සිට අනුස්මරණය කළ යුතු රාත්‍රිය මෙය වේ.</verse>
				<verse number="43">තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක: “පාස්කුව පිළිබඳ නියෝග මේ ය. කිසි ම විදේශිකයෙකු එයින් අනුභව නොකළ යුතු ය.</verse>
				<verse number="44">එහෙත්, නුඹ මිල දී ගත් වහලෙක් සිටී නම්, නුඹ ඔහු චර්මඡේදනය කළ පසු ඔහුට එය අනුභව කළ හැක.</verse>
				<verse number="45">එහෙත්, විදේශිකයෙකු හෝ කුලියට ගත් වහලෙකු හෝ එය අනුභව නොකළ යුතු ය.</verse>
				<verse number="46">තවද, මස්වලින් කිසිවක් ගෙයින් පිටතට ගෙන නොගොස් එක ගෙදරක දී ම එය අනුභව කළ යුතු ය. ඇරත් බැටළුවාගේ එක ඇටයක් වත් නොකැඩිය යුතු ය.</verse>
				<verse number="47">තවද, මුළු ඉශ්රායෙල් ජනතාව ම පාස්කුව පැවැත්විය යුතු ය.</verse>
				<verse number="48">එහෙත්, නුඹ සමඟ වසන විදේශිකයෙක් සමිඳාණන් වහන්සේගේ නමින් පාස්කුව සිදු කිරීමට කැමැත්තේ නම් ඔහු සතු සියලු පිරිමි චර්මඡේදනය ලැබිය යුත්තෝ ය. එවිට නුඹ සමඟ එකතු වී ඔහුට පාස්කුව පැවැත්විය හැකි ය. තවද, එවැන්නෙකු ස්වදේශිකයෙකු මෙන් සැලකිය යුතු ය. එහෙත්, අචර්මඡේදිත කෙනෙක් නම් පාස්කුව අනුභව නොකළ යුතු ය.</verse>
				<verse number="49">ස්වදේශිකයාටත් නුඹ සමඟ වසන විදේශිකයාටත් එක ම නීතියක් බලපාන්නේ ය.”</verse>
				<verse number="50">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට අණ දුන් පරිදි මුළු ඉශ්රායෙල් ජනයා එලෙස ඉටු කළහ.</verse>
				<verse number="51">තවද, ඒ දවසේ දී ම සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනතාව ඔවුන්ගේ සේනා අනුව මිසර දේශයෙන් පිටතට ගෙන ආ සේක.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,</verse>
				<verse number="2">“ඉශ්රායෙල් ජනයා අතර මවු කුසෙන් බිහි වන සියලු කුලුඳුලන් මට කැප කරන්න; මනුෂ්‍යයන් අතර වේ වා, මෘගයන් අතර වේ වා, එවැන්නන් මට අයිති ය”යි වදාළ සේක.</verse>
				<verse number="3">මෝසෙස් සෙනඟට කතා කොට මෙසේ කී ය: “ඔබ, වහල්කමේ නිවාසය වූ මිසරයෙන් පිටතට පැමිණි මේ දවස සිහි කරන්න. මන්ද, සමිඳාණන් වහන්සේ සිය බාහු බලයෙන් ඔබ එතැනින් පිටතට ගෙනා හෙයිනි. එබැවින් ඔබ මුහුන් රොටි නො කෑ යුතු ය.</verse>
				<verse number="4">ඔබ ආබිබ් නම් මාසයේ මේ දවසෙහි මිසරයෙන් නික්ම ආවහු ය.</verse>
				<verse number="5">තවද, සමිඳාණන් වහන්සේ ඔබට දෙන පිණිස ඔබේ පියවරුන්ට දිවුරුම් දුන්, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයක් වන කානානිවරුන්ගේ ද හිත්තීවරුන්ගේ සහ අමෝරිවරුන්ගේ ද හිවීවරුන්ගේ සහ ජෙබුසිවරුන්ගේ ද දේශයට උන් වහන්සේ ඔබ පැමිණෙවූ කල මේ මාසයේ දී මේ පිළිවෙත පවත්වන්න.</verse>
				<verse number="6">දවස් හතක් තුළ ඔබ නුමුහුන් රොටි අනුභව කළ පසු හත් වන දින සමිඳාණන් වහන්සේට මංගල්‍යයක් පැවැත්විය යුතු ය.</verse>
				<verse number="7">දවස් හතක් ම නුමුහුන් රොටි අනුභව කළ යුතු ය. ඔබ ළඟ මුහුන් රොටි නොතිබිය යුතු ය. තවද, මුළු දේශයෙහි ම පවා මුහුන් නොතිබිය යුතු ය.</verse>
				<verse number="8">ඇරත්, ‘මා මෙසේ කරන්නේ, මා මිසර දේශයෙන් පිටතට පැමිණි විට සමිඳාණන් වහන්සේ මට ඉටු කර දුන් දේ නිසා යැ’යි ඔබ ඒ දවසේ දී ඔබේ පුතු හට විස්තර කළ යුතු ය.</verse>
				<verse number="9">තවද, සමිඳාණන් වහන්සේගේ මේ නීතිය ගැන නිතර ම කතා කරන පිණිස, මේ පිළිවෙත ඔබට, ඔබ අත ලකුණක් මෙන් ද, නළල මත සිහි වීමේ ලකුණක් මෙන් ද විය යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේ සිය බාහු බලය පාමින් ඔබ මිසරයෙන් පිටත ගෙනා සේක.</verse>
				<verse number="10">එබැවින් මේ නියෝගය වසරින් වසර නියමිත කාලයෙහි ඔබ පැවැත්විය යුතු ය.”</verse>
				<verse number="11">“සමිඳාණන් වහන්සේ ඔබටත්, ඔබේ පියවරුන්ටත් දිවුරුම් දුන් පරිදි කානානිවරුන්ගේ දේශයට ඔබ පමුණුවා, එය ඔබට දුන් කල,</verse>
				<verse number="12">සියලු කුලුඳුල් පිරිමින් සමිඳාණන් වහන්සේට කැප කළ යුතු ය. ඔබේ මෘගයන්ගේ කුලුඳුල් පිරිමි පැටියන් සියල්ලන් ම උන් වහන්සේට අයිති ය.</verse>
				<verse number="13">තවද, කොටළුවන්ගේ සියලු කුලුඳුලන් බැටළු පැටවෙකු බැගින් දී මුදාගත යුතු ය. ඔබ ඌ මුදා නොගන්නෙහි නම් උගේ බෙල්ල කැඩිය යුතු ය. ඔබ ජනයා අතර සියලු කුලුඳුලන් ද මුදාගත යුතු ය.</verse>
				<verse number="14">‘මේ කුමක් ද’ කියා මතු දවස ඔබේ පුත්‍රයා ඔබෙන් අසන විට ඔබ ද ඔහුට කතා කොට, ‘සමිඳාණන් වහන්සේ සිය බාහු බලය පාමින් වහල්කමේ නිවාසය වන මිසරයෙන් අප පිටතට ගෙනා සේක.</verse>
				<verse number="15">පාරාවෝ මුරණ්ඩු ලෙස අපට නික්ම යෑමට අවසර නුදුන් විට, සමිඳාණන් වහන්සේ මිසර දේශයේ මිනිසුන්ගේ කුලුඳුලන් සියල්ලන් හා මෘගයන්ගේ සියලු කුලුඳුලන් ද මරාදැමූ සේක. එබැවින් මම, මවු කුසෙන් පළමුවෙන් බිහි වෙන සියලු පිරිමි සතුන් උන් වහන්සේට පූජා කරමි. එහෙත්, සියලු පිරිමි කුලුඳුල් දරුවන් මම මුදාගන්නෙමි.</verse>
				<verse number="16">මේ පිළිවෙත ඔබේ අතෙහි ලකුණක් මෙන් ද ලලාටයෙහි පටියක් මෙන් ද විය යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේ සිය බාහු බලය පාමින් මිසරයෙන් අප පිටතට ගෙනා හෙයිනැ’යි කිව යුතු ය.”</verse>
				<verse number="17">පාරාවෝ සෙනඟට යන්න අවසර දුන් විට, පිලිස්තිවරුන්ගේ දේශය මැදින් වූ මාර්ගය ඉතා කිට්ටු වූ නමුත් එය දිගේ දෙවියන් වහන්සේ ඔවුන් ගෙන නොගිය සේක. මන්ද, ‘සටන් කිරීමට වන බව ඔවුන් දකින කල ඇතැම් විට ඔවුන් සිත වෙනස් කරගෙන මිසරයට ආපසු යත හැකි ය’ කියා උන් වහන්සේ සිතූ බැවිනි.</verse>
				<verse number="18">එහෙයින් උන් වහන්සේ පාළුකරය ඔස්සේ වටවංගු මාර්ගයකින් රතු මුහුද දෙසට ඔවුන් ගෙන ගිය සේක. ඉශ්රායෙල් සෙනඟ ද සන්නාහ සන්නද්ධ ව මිසර දේශයෙන් නික්ම ගියහ.</verse>
				<verse number="19">තවද, ජෝසෙප් ඉශ්රායෙල් ජනයා ප්‍රසිද්ධියේ දිවුරවා තිබුණ ප්‍රකාර මෝසෙස් තමා සමඟ ජෝසෙප්ගේ ඇටකටු ගෙන ගියේ ය. මන්ද, “දෙවියන් වහන්සේ ඔබට සැබැවින් ම ආධාර කරන සේක. එවිට ඔබ මෙතැනින් මාගේ ඇටකටු රැගෙන යා යුතු ය”යි ජෝසෙප් කියා තිබුණු බැවිනි.</verse>
				<verse number="20">ඔව්හු සුක්කොත් නම් ස්ථානයෙන් නික්ම පාළුකරයේ මායිමේ ඒතාම්හි කඳවුරු බැඳගත්හ.</verse>
				<verse number="21">සමිඳාණන් වහන්සේ දිවා කාලයේ දී ඔවුන්ට මඟපෙන්වීමට වලා ටැඹකින් ද රාත්‍රි කාලයේ දී ආලෝකය දීමට ගිනි ටැඹකින් ද ඔවුන්ට පෙරටුව ගිය සේක. මෙලෙස ඔවුන්ට දිවා රෑ දෙක්හි ම ගමන් කරන්නට හැකි විය.</verse>
				<verse number="22">තවද, දවල් කාලයේ දී වලා ටැඹ ද රාත්‍රි කාලයේ දී ගිනි ටැඹ ද සෙනඟ ඉදිරියෙන් පහ නො වී ය.</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා,</verse>
				<verse number="2">“ඉශ්රායෙල් ජනයාට කතා කොට, ‘නුඹලා ආපසු හැරී බාල්-ශෙපොන් ඉදිරිපස පිහිටි මිග්දෝල් සහ මුහුදත් අතර, පී-හාහිරොත් නම් ස්ථානයට මූණ ලා කඳවුරු බඳින්න; මුහුදට කිට්ටු ව එය ඉදිරිපිට කඳවුරු බඳින්නැ’යි කියන්න.</verse>
				<verse number="3">‘ඉශ්රායෙල් ජනයා රටේ ඔබමොබ යමින් ද පාළුකරයට මැදි ව සිටිමින් ද ඇතැ’යි පාරාවෝ සිතනු ඇත.</verse>
				<verse number="4">මම පාරාවෝගේ සිත දැඩි කරමි. ඔහු ඔවුන් ලුහුබැඳ එනු ඇත. එහෙත්, පාරාවෝ සහ ඔහුගේ සියලු හමුදාවන් පරාජය කිරීමෙන් මම ගෞරවය සලසා ගනිමි. මෙයින් මා සමිඳාණන් වහන්සේ බව මිසර වාසීහු දැනගන්නෝ ය”යි වදාළ සේක. ඉශ්රායෙල් ජනතාව එලෙස ම කළහ.</verse>
				<verse number="5">සෙනඟ පලා ගිය බව මිසරයේ රජුට දන්වන ලදී. එවිට ඔහු ද ඔහුගේ නිලධාරීහු ද ඔවුන් ගැන තම සිත් වෙනස් කොට, “ඉශ්රායෙල් ජනයා වහල් සේවයෙන් මුදා හැරීමෙන් අප කෙළේ කුමන ක්‍රියාවක් දැ”යි කියාගත්හ.</verse>
				<verse number="6">පාරාවෝ ඉන්පසු තම යුද්ධ රථය සූදානම් කොට තම සෙනඟ ද එක්රැස් කොට ගත්තේ ය.</verse>
				<verse number="7">තවද, ඔහුගේ විශේෂ යුද්ධ රථ හයසියයක් ද, මිසරයේ සියලු ම යුද්ධ රථ ද ඔහු සමඟ ගමන් ගත්තේ ය. ඒ සෑම රථයක ම යුද සෙනෙවියෝ සිටියහ.</verse>
				<verse number="8">සමිඳාණන් වහන්සේ මිසරයේ රජු වන පාරාවෝගේ සිත දැඩි කළ සේක. ඔහු ජයාන්විත ව රටින් පලා යන ඉශ්රායෙල් ජනයා ලුහුබැඳ ගියේ ය.</verse>
				<verse number="9">මිසර වාසීහු ඔවුන් ලුහුබැඳ ගියහ. පාරාවෝගේ සියලු අසුන් ද යුද්ධ රථ ද ඔහුගේ අසරුවන් ද හමුදාව ද සමඟ ඔවුන් ලුහුබැඳ ගොස්, බාල්-ශෙපොන් නම් ස්ථානයට මූණ ලා පී-හාහිරොත් නම් ස්ථානය අසල මුහුදුබඩ කඳවුරු බැඳ සිටි ඔවුන්ට ළඟා වූ හ.</verse>
				<verse number="10">පාරාවෝ ළං වූ විට ඉශ්රායෙල් ජනයා හිස් ඔසවා බලා තමන් පසුපස මිසර වාසීන් එනු දැක, මහත් සේ බිය වී සමිඳාණන් වහන්සේට මොරගැසූ හ.</verse>
				<verse number="11">ඔව්හු මෝසෙස්ට කතා කොට, “මේ පාළුකරයේ මැරෙන්නට අප ගෙනාවේ මිසරයේ මිනීවළවල් නැති නිසා ද? මිසරයෙන් අප පිටත ගෙනවුත් අපට මෙලෙස කරන්නේ මන් ද?</verse>
				<verse number="12">‘මිසර වාසීන්ට වහල් මෙහෙවර කරන්නට අපට ඉඩ දුන මැනවැ’යි ඔබට මිසරයේ දී කීවේ මේ නිසා නො වේ ද? පාළුකරයේ මියයනවාට වඩා මිසර වාසීන්ට වහල් මෙහෙවර කළා නම් හොඳ නො වේ දැ”යි ඇසූ හ.</verse>
				<verse number="13">මෝසෙස් සෙනඟට පිළිතුරු දෙමින්, “බිය නොවන්න, ස්ථිර ව සිටින්න, සමිඳාණන් වහන්සේ අද ඔබ ගළවාලන පිණිස උන් වහන්සේ ඉටු කරන දේ ඔබ දකින්නහු ය. අද ඔබ දකින මිසර වාසීන් මින්පසු ඔබ කවදා වත් නොදකින්නහු ය.</verse>
				<verse number="14">උන් වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක. ඔබ නිශ්චල ව සිටිය යුතු ය”යි කී ය.</verse>
				<verse number="15">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹ මට මොරගසන්නේ මන් ද? ඉශ්රායෙල් ජනයාට ‘ඉදිරියට යන්නැ’යි කියන්න.</verse>
				<verse number="16">තවද, ඔවුන්ට මුහුද මැදින් වියළි බිම දිගේ යන්න හැකි වන පරිදි ඔබ ද ඔබේ සැරයටිය ඔසවා, අත මුහුද දෙසට දිගු කොට මුහුද දෙබෑ කරවන්න.</verse>
				<verse number="17">බලන්න, මම ද මිසර වාසීන්ගේ සිත් දැඩි කරමි. ඔව්හු ද ඉශ්රායෙල් ජනයා පසුපස යන්නෝ ය. එවිට පාරාවෝ ද ඔහුගේ මුළු හමුදාව ද ඔහුගේ යුද්ධ රථ ද ඔහුගේ අසරුවන් ද පරාජය කොට මම කීර්තිය ලබන්නෙමි.</verse>
				<verse number="18">මෙසේ මා පාරාවෝ ද ඔහුගේ යුද්ධ රථ ද අසරුවන් ද ජයගෙන කීර්තිය ලැබූ පසු මා සමිඳාණන් වහන්සේ බව මිසර වාසීහු දැනගන්නෝ ය.”</verse>
				<verse number="19">ඉන්පසු ඉශ්රායෙල් හමුදාවට පෙරටුවෙන් ගිය දේව දූතයා ද තමා සිටි තැන වෙනස් කොට ඔවුන් පසුපස ගියේ ය. ඔවුන් ඉදිරියේ තිබූ වලා ටැඹ ඔවුන් පිටුපසට වී,</verse>
				<verse number="20">මිසර වාසීන්ගේ හමුදාව හා ඉශ්රායෙල්වරුන්ගේ හමුදාව අතරට පැමිණියේ ය. වලාකුළක් හා අඳුරක් ඇති විය, රාත්‍රිය ගෙවිණි, එහෙත් මුළු රාත්‍රියේ ම හමුදා දෙක එකිනෙකට ළඟා නො වූ හ.</verse>
				<verse number="21">මෝසෙස් තම අත මුහුද දෙසට දිගු කෙළේ ය. එවිට සමිඳාණන් වහන්සේ ඒ මුළු රාත්‍රියේ ම පෙරදිගින් හැමූ සැඬ සුළඟක් මඟින් මුහුදු ජලය පසුබැස යාමට සලසා, මුහුද වියළි බිමකට හැරෙවු සේක. මුහුදු ජලය ද දෙබෑ විය.</verse>
				<verse number="22">ඉශ්රායෙල් ජනතාව වියළි බිම දිගේ මුහුද මැදට ගියහ. ජලය දකුණු පසින් හා වම් පසින් තාප්පයක් මෙන් විය.</verse>
				<verse number="23">මිසර වැසියෝ ලුහුබැඳ ගියහ; පාරාවෝගේ සියලු අසුන් ද රථ ද අසරුවන් ද ඔවුන් පසුපස මුහුද මැදට ගියහ.</verse>
				<verse number="24">එවිට උදය යාමයෙහි, සමිඳාණන් වහන්සේ ගිනි හා වලා ටැඹින් මිසර වාසීන්ගේ හමුදා දෙස බලා ඒ හමුදාවන් සන්ත්‍රාසයට පත් කරවූ සේක.</verse>
				<verse number="25">උන් වහන්සේ ද ඔවුන්ගේ රථ රෝද ක්‍රියා විරහිත කළ සේක. ඒවා ඉදිරියට ගියේ ඉතා අමාරුවෙනි. එවිට මිසර වාසීහු, ‘අපි ඉශ්රායෙල්වරුන් වෙතින් පලා යමු, මන්ද, සමිඳාණන් වහන්සේ අපට විරුද්ධ ව ඔවුන් උදෙසා සටන් කරන සේකැ”යි කී හ.</verse>
				<verse number="26">උන් වහන්සේ මෝසෙස් අමතමින්, “මිසර වාසීන් පිට ද ඔවුන්ගේ රථ හා අසරුවන් පිට ද ජලය ආපසු ගලන ලෙස මුහුද දෙසට නුඹේ අත දිගු කරන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="27">ඔහු මුහුද දෙසට තම අත දිගු කෙළෙන් පහන් වූ විට ජලය ආපසු පෙර තිබුණ මට්ටමට ම ගැලී ය. මිසර වැසියෝ පලා යන්නට උත්සාහ කරන්නෝ මූද මැදට ම දිවූ හ. සමිඳාණන් වහන්සේ ඔවුන් මුහුද මැද හෙළාදැමූ සේක.</verse>
				<verse number="28">ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ මුහුදට පැමිණි යුද්ධ රථ ද අසරුවෝ ද පාරාවෝගේ මුළු හමුදාව ද ආපසු ගලා ආ ජලයට යට වූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙක් වත් ඉතිරි නො වී ය.</verse>
				<verse number="29">එහෙත්, ඉශ්රායෙල් ජනයා මුහුද මැද වියළි බිමින් ගමන් කළහ. ඔවුන්ගේ දකුණු පසින් හා වම් පසින් ජලය තාප්පයක් මෙන් විය.</verse>
				<verse number="30">මෙසේ එදින සමිඳාණන් වහන්සේ මිසර වාසීන් අතින් ඉශ්රායෙල්වරුන් ගළවාගත් සේක. ඉශ්රායෙල්වරු ද මිසර වාසීන් මුහුදු වෙරළේ මැරී සිටිනු දුටහ.</verse>
				<verse number="31">ඔව්හු සමිඳාණන් වහන්සේ මිසර වාසීන්ට කළ ප්‍රබල ක්‍රියාව දුටහ. සෙනඟ සමිඳාණන් වහන්සේට ගරුබිය පා, උන් වහන්සේ ද උන් වහන්සේගේ සේවකයා වන මෝසෙස් ද කෙරෙහි විශ්වාසය තැබූ හ.</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">එවිට මෝසෙස් සහ ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට මේ ගීතය ගැයූ හ. සමිඳුන් හට මම ගී ගයමි, එතුමාණෝ තෙද මහිමෙන් ජයගෙන අසුන් හා අසරුවන් මූද මැද හෙළූ සේක.</verse>
				<verse number="2">
					සමිඳාණෝ, මා සවිය හා ගීතය වෙති;
					එතුමාණෝ මා විමුක්තිය වෙති; මාගේ දෙවිඳාණෝ ය. මා දෙවිතුමන් මම පසසමි. මා පියාගේ දෙවිඳුන් මහිමයට පමුණුවමි.
				</verse>
				<verse number="3">සමිඳාණෝ, රණ ශූර ය, එතුමන්ගේ නම හිමිසඳ වේ.</verse>
				<verse number="4">එතුමාණෝ, පාරාවෝගේ රිය සෙන් හා බළ ඇණි මූද මැද හෙළූ සේක. උසස් ම සෙන්පතීහු ද රතු මූදට බිලි වූ හ.</verse>
				<verse number="5">ගැඹුරු සමුදුර ඔවුන් වසාගති; ගලක් විලස මූදු පත්ලට ඔව්හු කිඳා ගියහ.</verse>
				<verse number="6">සමිඳුනි, ඔබ දකුණත බල මහිමෙන් උදාර ය. සමිඳුනි, ඔබ දකුණත හතුරන් කැබලි කරලී ය.</verse>
				<verse number="7">ඔබේ මහත් තේජෝමහිමයෙන් ඔබ ඔබේ හතුරන් සුණු විසුණු කරන සේක. ඔබේ උදහස විගසින් දැල් වී ඉපනැලි මෙන් ඔවුන් දවාලයි.</verse>
				<verse number="8">ඔබේ නැහැයේ හුස්මෙන් ජලය ගොඩ ගැසෙයි. දිය දහර වේල්ලක් මෙන් කෙළින් සිටියි. මුහුදු ගැබේ ජල කඳ මිදිණි.</verse>
				<verse number="9">සතුරා මෙසේ උදන් අනයි: “මම ලුහුබැඳ යන්නෙමි, ඔවුන් අල්ලාගන්නෙමි, කොල්ලය බෙදන්නෙමි, මා මනෙදාළ සපුරා ගන්නෙමි, මම කඩුව අදින්නෙමි, මා අතින් ඔවුන් වනසන්නෙමි.”</verse>
				<verse number="10">ඔබ හුස්ම පිඹලූ සේක, මුහුද ඔවුන් වසාගති. ඔව්හු රුදුරු ජල කඳ තුළ ඊයම් මෙන් කිඳා ගියහ.</verse>
				<verse number="11">සමිඳුනි, දෙවියන් අතර ඔබ හා සම අන් කවුරු ද? ශුද්ධකමින් ප්‍රතාපවත්, බල විකුමෙන් භයංකර, අරුමපුදුම දේ කරවන ඔබ වැනි අය අන් කවුරු ද?</verse>
				<verse number="12">ඔබ දකුණත දිගු කළ සේක, මිහිතලය ඔවුන් ගිලගති.</verse>
				<verse number="13">ඔබ මිදු ජනතාව කුළුණු බරින් ගෙන ගිය සේක; බලය පාමින් ඔබ ශුද්ධ නිවසට ඔවුන්ට මඟ පෙන්වූ සේක.</verse>
				<verse number="14">මේ ඇසූ ජනතාවෝ වෙව්ලති; පිලිස්ති වැසියෝ විලිරුදාවෙන් මෙන් පෙළෙති;</verse>
				<verse number="15">ඒදොම්හි අධිපතීහු බියපත් වෙති; මෝවබ් බලවත්හු වෙව්ලති; සියලු කානානිය වැසියෝ දිරිය නැති කරගනිති.</verse>
				<verse number="16">භීතිය හා ත්‍රාසය ඔවුන් පිට ය; ඔබේ සෙනඟ එතෙර වන තෙක්, සමිඳුනි, ඔබ මිල දී ගත් සෙනඟ එතෙර යන තෙක්, ඔබ තෙද බල විකුම් පෑ සේක. ඔව්හු ගස් ගල් මෙන් නිසල ව සිටියහ.</verse>
				<verse number="17">සමිඳුනි, ඔබට උරුමය වන කඳු මුදුනට, සමිඳුනි, ඔබේ වාසභවනය වන තැනට, ඔබ අතින් ඉදි කළ ශුද්ධස්ථානයට, ඔබ ඔවුන් ගෙන ගොස්, පිහිටුවන සේක.</verse>
				<verse number="18">සමිඳාණෝ, සදහට ම රජකම් කරන සේක.</verse>
				<verse number="19">පාරාවෝගේ අශ්වයෝ ද ඔහුගේ යුද්ධ රථ හා අසරුවන් සමඟ මුහුදට ඇතුළු වූ හ. සමිඳාණන් වහන්සේ ජලය ආපසු ඔවුන් පිට හැරෙවූ සේක. එහෙත්, ඉශ්රායෙල් ජනයා මුහුද මැදින් වියළි බිම දිගේ ගමන් කළහ.</verse>
				<verse number="20">ආරොන්ගේ සොහොයුරිය වන, මීරියම් දිවැසිවරිය කිකිණි බැඳි සිඟිති රබානක් අතින් ගත්තා ය. වනිතාවෝ සියලු දෙන ද කිකිණි බැඳි රබන් පොඩි ලෙලවමින්, නටමින් ඇය පසුපස ගමන්ගත්හ.</verse>
				<verse number="21">මීරියම් ඔවුන්ට පිළිතුරු වශයෙන් මෙසේ ගායනා කළා ය: “සමිඳුන් හට ගී ගයන්න, එතුමාණෝ තෙද මහිමයෙන් ජයගත් සේක; අසරුවන් හා අස් සෙන් මූදට හෙළූ සේක.”</verse>
				<verse number="22">මෙසේ මෝසෙස් රතු මුහුදින් ඉශ්රායෙල් ජනයා ගෙන ගිය පසු ඔව්හු ෂූර් නම් පාළුකරයට ඇතුළු වූ හ. තෙදිනක් පාළුකරයේ ගමන් කළ නමුත් ඔවුන්ට ජලය නොලැබිණි.</verse>
				<verse number="23">ඔවුන් මාරා නම් ස්ථානයට පැමිණි නමුත් එහි ජලය කරදිය වූ බැවින් එය බීමට නුපුළුවන් විය. ඒ ස්ථානයට මාරා යන නම දෙන ලද්දේ එබැවිනි.</verse>
				<verse number="24">එවිට සෙනඟ මෝසෙස්ට විරුද්ධ ව කොඳුරමින්, “අප බොන්නේ මොනවා දැ”යි ඇසූ හ.</verse>
				<verse number="25">මෝසෙස් සමිඳාණන් වහන්සේට අයැදුම් කළ විට, උන් වහන්සේ ඔහුට ගසක් පෙන්නූ සේක. ඔහු එය ජලයට දැම්මේ ය; ජලය මිහිරි විය. තවද, උන් වහන්සේ එහි දී ඔවුන්ට නියෝගයක් හා පණතක් දුන් සේක; එහි දී ඔවුන් පරීක්ෂා කළ සේක.</verse>
				<verse number="26">උන් වහන්සේ ඔවුන් අමතමින්, “නුඹේ දෙවි වන සමිඳාණන් වහන්සේගේ හඬට නුඹ ඕනෑකමින් ඇහුම්කන් දී උන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි ව තිබෙන දේ කොට, උන් වහන්සේගේ ආඥාවලට කන් දෙමින් උන් වහන්සේගේ සියලු නියෝග රක්ෂා කරන්නෙහි නම්, මිසර වාසීන් පිට මා පැමිණවූ ලෙඩ රෝග එකක් වත් නුඹලා පිට නොපමුණුවමි. මන්ද, නුඹලාට සුවය දෙන සමිඳාණන් වහන්සේ මම ය”යි වදාළ සේක.</verse>
				<verse number="27">ඉන්පසු ඔව්හු දිය උල්පත් දොළොසක් ද ඉඳි ගස් හැත්තෑවක් ද තිබූ ඒලීම් නම් ස්ථානයට පැමිණ, එහි දිය අසල කඳවුරු බැඳගත්හ.</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">මුළු ඉශ්රායෙල් ජනතාව ඒලීම් නම් ස්ථානයෙන් ගමන් ඇරඹුවහු ය. ඔව්හු මිසර දේශයෙන් පිටත් වූ පසු දෙ වන මාසයේ පසළොස් වන දින ඒලීම් සහ සීනයි අතරෙහි වූ සීන් නම් පාළුකරයට පැමිණියෝ ය.</verse>
				<verse number="2">ඉශ්රායෙල් ජනයා මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව පාළුකරයේ දී මැසිවිලි කියන්නට වූ හ.</verse>
				<verse number="3">ඔව්හු ඔවුන්ට කතා කොට, “මිසර දේශයේ දී සමිඳාණන් වහන්සේගේ අතින් අපි මැරුණෙමු නම් කෙතරම් යහපත් ද? එහි දී අපට, මස් පිරුණු බඳුන් ළඟ වාඩි වී, ඇති තරම් කෑම කන්න පුළුවන්කම තිබිණි. එහෙත්, ඔබ මේ මුළු ජනතාව සාගින්නෙන් මරාදැමීමට මේ පාළුකරයට ගෙනාවහු ය”යි කී හ.</verse>
				<verse number="4">එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “මම නුඹලාට අහසින් ආහාර වස්වමි. දිනපතා මිනිසුන් නික්ම ගොස් එදිනට අවශ්‍ය කොටස එකතු කරගත යුතු ය. මෙසේ ඔව්හු මාගේ නීතිය පිළිපදින්නෝ ද නැද්ද කියා මට ඔවුන් පරීක්ෂා කළ හැක.</verse>
				<verse number="5">එහෙත්, හය වන දවසේ දී, ඔවුන් දිනපතා එකතු කර ගන්නාක් මෙන් දෙගුණයක් ගෙන, එය පිළියෙළ කළ යුතු ය”යි වදාළ සේක.</verse>
				<verse number="6">මෝසෙස් හා ආරොන් මුළු ඉශ්රායෙල් ජනයාට කතා කොට, “ඔබ හැම මිසර දේශයෙන් පිටත ගෙනාවේ සමිඳාණන් වහන්සේ බව අද සවස ඔබ දැනගන්නහු ය.</verse>
				<verse number="7">උදය කාලයේ දී ඔබ සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය දකින්නහු ය. මන්ද, ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කී මැසිවිලි උන් වහන්සේ ඇසූ සේක. ඔබ මැසිවිලි කීවේ අපට විරුද්ධ ව නොවේ, අපි එතරම් වැදගත් නොවෙමු”යි කී හ.</verse>
				<verse number="8">මෝසෙස් යළිත් කතා කරමින්, “සමිඳාණන් වහන්සේ ඔබට සවස් කාලයේ කෑමට මාංස ද, උදය කාලයේ ඇති තරම් රොටි ද දෙන සේක. එසේ වන්නේ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කී මැසිවිලි උන් වහන්සේ අසා ඇති බැවිනි. සැබෑවට ම අපි කවුරු ද? ඔබ මැසිවිලි කීවේ අපට විරුද්ධ ව නොව සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ය”යි කී ය.</verse>
				<verse number="9">ඉක්බිති මෝසෙස් ආරොන්ට කතා කොට, “මුළු ඉශ්රායෙල් ජනතාව අමතා, ‘සමිඳාණන් වහන්සේ වෙත පැමිණෙන්න; උන් වහන්සේ නුඹලාගේ මැසිවිලි ඇසූ සේක’ කියා කියන්නැ”යි පැවසී ය.</verse>
				<verse number="10">ආරොන් මුළු ඉශ්රායෙල් ජනතාව අමතා කතා කරන විට, ඔව්හු පාළුකරය දෙස බැලූ හ. පුදුමයකි, වලාකුළක් මෙන් සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය දිස්විණි.</verse>
				<verse number="11">සමිඳාණන් වහන්සේ ද මෝසෙස්ට කතා කොට,</verse>
				<verse number="12">“ඉශ්රායෙල් ජනයාගේ මැසිවිලි මට ඇසිණි, නුඹ ඔවුන් අමතමින්, ‘සවස ඔබ මාංස කන්නහු ය. උදය ඔබට ඇති තරම් රොටි ලැබෙන්නේ ය. මෙසේ නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මා බව නුඹලා දැනගන්නහු ය’යි කියන්නැ”යි පැවසූ සේක.</verse>
				<verse number="13">ඉන්පසු සවස් කාලයේ දී වටුවන් වර්ගයක් අවුත් කඳවුර වසාගති. උදය කාලයේ දී කඳවුර සිසාරා පිනි තට්ටුවක් විය.</verse>
				<verse number="14">පිනි වාෂ්ප වී ගිය පසු පාළුකරයේ භූමිය මතුපිට සිහින් වූ, කුඩා වටකුරු හිම වැනි දෙයක් තිබෙනු ඔව්හු දුටහ.</verse>
				<verse number="15">මෙය දුටු ඉශ්රායෙල් ජනයා එකිනෙකාට කතා කරමින්, “මෙය කුමක් දැ”යි විචාළාහ. මන්ද, ඒ කුමක් ද කියා ඔවුන් නොදත් බැවිනි. මෝසෙස් ඔවුන්ට පිළිතුරු දෙමින්, “මෙය වනාහි සමිඳාණන් වහන්සේ ඔබට අනුභව කිරීමට දුන් ආහාරය වේ.</verse>
				<verse number="16">සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි, සෑම කෙනෙකු ම තම තමාට අවශ්‍ය ප්‍රමාණයට ඉන් එකතු කරගත යුතු ය. ගෙයි වැසියන්ගේ ගණන අනුව එකිනෙකා ලීටර් දෙක බැගින් ගත යුතු ය. තවද, ඔබ සැම කෙනෙකු ම තම කූඩාරමේ සිටින අයටත් ගෙන යා යුතු ය”යි කීවේ ය.</verse>
				<verse number="17">ඉශ්රායෙල් ජනයා එලෙස කරද්දී, සමහරෙක් අඩුවෙන් ද සමහරෙක් වැඩියෙන් ද රැස් කරගත්හ.</verse>
				<verse number="18">ඔවුන් එය මැන්න විට වැඩියෙන් රැස් කරගත් අයට වැඩියක් නො වී ය, අඬුවෙන් රැස් කරගත් අයට අඩුවක් ද නො වී ය. එකිනෙකා තම තමා කන ප්‍රමාණයට රැස් කරගෙන තිබිණි.</verse>
				<verse number="19">මෝසෙස් ඔවුන්ට කතා කොට, “උදය වන තෙක් ඉන් කිසිත් ඉතිරි නොකළ යුතු ය”යි කීවේ ය.</verse>
				<verse number="20">එහෙත්, ඔව්හු මෝසෙස්ට සවන් නොදුන්හ. ඔවුන්ගෙන් සමහරෙක් පසු දින උදය වන තෙක් ඉන් කොටසක් ඉතුරු කළහ. එවිට එහි පණුවන් හටගෙන එයින් දුගඳ හමන්නට විය. මෝසෙස් ඔවුන් සමඟ කෝප විය.</verse>
				<verse number="21">ඔව්හු එකිනෙකා තම තමා කන ප්‍රමාණය අනුව උදයෙන් උදය එය රැස් කරගත්හ. අව්ව තද වූ විට එය දිය වී ගියේ ය.</verse>
				<verse number="22">තවද, හය වන දවසේ දී ඔව්හු එකිනෙකාට ලීටර් හතර බැගින් ආහාර දෙගුණයක් රැස් කරගත්හ. ඉන්පසු ප්‍රජා මූලිකයෝ සියලු දෙන මෝසෙස් වෙත පැමිණ මෙය සැළ කළහ.</verse>
				<verse number="23">ඔහු ඔවුන් අමතමින්, “සමිඳාණන් වහන්සේ අණ කරන දේ මේ ය. එනම්, ‘හෙට වනාහි නිවාඩු දිනයකි, සමිඳාණන් වහන්සේට කැප කරන ලද සබත් දිනයකි. එබැවින් පිළිස්සීමට අවශ්‍ය නම්, පුළුස්සන්න, තැම්බීමට උවමනා යමක් නම්, තම්බන්න. ඉතිරි වන දේ ඔබේ ප්‍රයෝජනයට ගන්නා පිණිස හෙට වෙන තෙක් පැත්තකට කර තබාගන්නැ”යි කී ය.</verse>
				<verse number="24">ඔව්හු මෝසෙස් කී පරිදි පසු දා වන තෙක් එය පැත්තකට කළ නමුත් එයින් දුගඳ නොහැමී ය. එහි එක පණුවෙක් වත් නො වී ය.</verse>
				<verse number="25">මෝසෙස් කතා කොට, “ඒවා අද දින අනුභව කරන්න, මන්ද, අද සමිඳාණන් වහන්සේට කැප කළ නිවාඩු දිනය යි. අද ඒවා ඔබට කෙතෙහි සම්බ නොවන්නේ ය.</verse>
				<verse number="26">දින හයක් ඔබ එය රැස් කරගත යුතු ය. එහෙත්, සබත් දින වන හත් වන දින ඒ කිසිවක් නොතිබේ ය”යි කීවේ ය.</verse>
				<verse number="27">එහෙත්, ජනයා අතරින් සමහරෙකු හත් වන දින ද ඒවා රැස් කිරීමට ගිය නමුත් ඒවායින් කිසිවක් සම්බ නො වී ය.</verse>
				<verse number="28">එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹලා කොපමණ කාලයක් මාගේ ආඥා සහ නීති පිළිපැදීම ප්‍රතික්ෂේප කරන්නහු ද?</verse>
				<verse number="29">බලන්න, මම නුඹට සබත් දිනය දුන් බැවින් හය වන දවසේ දී මම නුඹට දෙදවසක ආහාර දෙමි. සබත් දින නුඹලා සැම කෙනෙක් ම තම තමා සිටින තැන ම නැවතී සිටිය යුතු ය. කිසිවෙකු තම නිවසින් පිටත නොයා යුතු ය”යි වදාළ සේක.</verse>
				<verse number="30">එබැවින් සෙනඟ හත් වන දින නිවාඩු ගත්හ.</verse>
				<verse number="31">ඉශ්රායෙල් ජනයා ඒ ආහාරයට ‘මන්නා’ යන නාමය තැබූ හ. එය කොත්තමල්ලි ඇට තරම් ය, සුදු පාට ය, මී පැණි මිශ්‍ර තුනී රොටි වර්ගයක් මෙන් රසවත් ය.</verse>
				<verse number="32">මෝසෙස් කතා කොට, “සමිඳාණන් වහන්සේගේ ආඥාව මෙය වේ: ‘මා මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනෙන විට පාළුකරයේ දී නුඹලා පෝෂ්‍ය කළ ආහාරය නුඹලාගේ මතු පරම්පරාවල අය දකින පිණිස, ඔවුන් සඳහා එයින් ලීටර් දෙකක් පුරවා තබාගන්නැ’ ”යි කීවේ ය.</verse>
				<verse number="33">ඉන්පසු මෝසෙස් ආරොන්ට කතා කොට, “බඳුනක් රැගෙන මන්නාවලින් ලීටර් දෙකක් එහි පුරවා ඔබේ මතු පරම්පරාවන් සඳහා එය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තබන්නැ”යි කී ය.</verse>
				<verse number="34">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් ප්‍රකාර, ආරොන් එය ආරක්ෂා කරනු පිණිස ගිවිසුම් කරඬුව ඉදිරිපිට තැබී ය.</verse>
				<verse number="35">ඉශ්රායෙල් ජනයා මනුෂ්‍ය පථයකට පැමිණෙන තෙක් අවුරුදු හතළිහක් මන්නා කෑ හ; එනම්, කානාන් දේශයේ සීමාවලට පැමිණෙන තෙක් ම ඔව්හු මන්නා කෑ හ.</verse>
				<verse number="36">ඒ කාලයේ භාවිත කළ මිම්ම ලීටර් විස්සකට සමාන ය.</verse>
			</chapter>
			<chapter number="17">
				<verse number="1">තවද, මුළු ඉශ්රායෙල් ජනතාව සීන් නමැති පාළුකරයෙන් නික්ම සමිඳාණන් වහන්සේගේ අණ පරිදි කඳවුරින් කඳවුරට ගොස් රෙපිඩීම් නම් ස්ථානයේ කඳවුරු බැඳගත්හ. එහෙත්, එහි සෙනඟට බීමට වතුර නො වී ය.</verse>
				<verse number="2">එවිට ඔව්හු මෝසෙස්ට අවලාද කියමින්, “අපට බොන්න වතුර දෙන්නැ”යි ඉල්ලූ හ. මෝසෙස් ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ මට අවලාද කියන්නේ ඇයි? ඔබ කුමක් නිසා සමිඳාණන් වහන්සේ පරීක්ෂා කරන්නහු දැ”යි ඇසී ය.</verse>
				<verse number="3">සෙනඟ ද පිපාසයෙන් පෙළෙමින් මෝසෙස්ට විරුද්ධ ව කොඳුර කොඳුරා, “ඔබ අප මිසරයෙන් පිටතට ගෙනාවේ මන් ද? අප ද අපේ දරුවන් ද අපේ ගවමහිෂයන් ද පිපාසයෙන් මරාදමන්නට දැ”යි විචාළහ.</verse>
				<verse number="4">මෝසෙස් එවිට සමිඳාණන් වහන්සේට මොරගසමින්, “මේ සෙනඟට මා කුමක් කරන්න ද? ඔව්හු මට ගල් ගසන්නට සැරෙසති”යි කීවේ ය.</verse>
				<verse number="5">එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “ඔබ ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් සමහරෙකු ද කැටුව සෙනඟට ඉදිරියෙන් යන්න. තවද, ඔබ ගංගාවේ දියට පහර දුන් සැරයටිය ද ඔබ අත රැගෙන යා යුතු ය.</verse>
				<verse number="6">බලන්න, මම ද හොරෙබ්හි පර්වතය මත ඔබ ඉදිරිපිට සිටිමි. ඔබ පර්වතයට ගැසිය යුතු ය. එවිට සෙනඟට බීමට ජලය එයින් ගලා එනු ඇතැ”යි වදාළ සේක. මෝසෙස් ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් බලාගෙන සිටිය දී එලෙස කෙළේ ය.</verse>
				<verse number="7">ඉශ්රායෙල් ජනයා අවලාද කී නිසාත්, ‘සමිඳාණන් වහන්සේ අප අතර ඇද් ද? නැද් ද?’ කියමින් ඔවුන් උන් වහන්සේ පරීක්ෂා කළ නිසාත් ඒ ස්ථානයට ඔහු මස්සා සහ මෙරිබා කියා නම් කෙළේ ය.</verse>
				<verse number="8">එවිට අමලෙක්වරු පැමිණ රෙපිඩීම් නම් ස්ථානයේ දී ඉශ්රායෙල් ජනයා සමඟ සටන් කළහ.</verse>
				<verse number="9">මෝසෙස් ජෝෂුවාට කතා කොට, “අප උදෙසා ඔබ මිනිසුන් තෝරාගෙන, නික්ම ගොස් හෙට අමලෙක්වරුන් සමඟ සටන් කරන්න. මම දෙවියන් වහන්සේ දුන් සැරයටිය මා අතට ගෙන කඳු මුදුනේ සිටිමි”යි කීවේ ය.</verse>
				<verse number="10">ජෝෂුවා මෝසෙස් තමාට කී පරිදි අමලෙක්වරුන් සමඟ සටන් කෙළේ ය. මෝසෙස් සමඟ ආරොන් සහ හූර් යන දෙදෙනා කඳු මුදුනට නැඟී ගියහ.</verse>
				<verse number="11">මෝසෙස් තමාගේ අත් ඔසවාගෙන සිටි තෙක් ඉශ්රායෙල්වරුන්ට ජය අත් විය. ඔහු තම අත් පහතට හෙළූ විට අමලෙක්වරු ජයගත්හ.</verse>
				<verse number="12">එහෙත්, මෝසෙස්ගේ අත් විඩාවට පත් වූ විට, ඔව්හු ගලක් ගෙන ඔහු පිටුපස තැබූයෙන් ඔහු ද එය මත වාඩි විය. එවිට ආරොන් සහ හූර් දෙපැත්තේ සිටගෙන ඔහුගේ අත් උසුලාගෙන සිටියහ. මෙසේ ඔහුගේ අත්, හිරු බැස යන තෙක් ම පහතට නොවැටී තිබිණි.</verse>
				<verse number="13">ජෝෂුවා, අමලෙක් සහ ඔහුගේ සෙනඟ කඩු පහරින් වනසාදැමී ය.</verse>
				<verse number="14">එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්, “මෙය සිහි වන පිණිස, “මම අමලෙක්වරුන් ගැන මතකයක් නැති වන සේ මිහි පිටින් ඔවුන් සම්පූර්ණයෙන් ම මකාදමමි’යි පොතක ලියා, එය ජෝෂුවාට ඇසෙන පරිදි කියන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="15">මෝසෙස් පූජාසනයක් තනා ඊට සමිඳා-නිස්සී හෙවත් සමිඳාණන් වහන්සේ මාගේ ධජය කියා නම් තැබී ය.</verse>
				<verse number="16">මන්ද, ‘ඔබ සමිඳාණන් වහන්සේගේ ධජයට අත ගසන්න, උන් වහන්සේ පරම්පරාවෙන් පරම්පරාවට අමලෙක්වරුන් සමඟ සටන් කරන සේකැ’යි උන් වහන්සේ වදාළ බැවිනි.</verse>
			</chapter>
			<chapter number="18">
				<verse number="1">මෝසෙස්ගේ මාමණ්ඩි වන මිදියන්හි පූජකවර ජෙත්රෝ, දෙවියන් වහන්සේ මෝසෙස්ට හා ඔහුගේ ඉශ්රායෙල් සෙනඟට කළ සියල්ල ද උන් වහන්සේ ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනා අයුරු ද අසා තිබිණි.</verse>
				<verse number="2">එබැවින් ඔහු මෝසෙස් පිටත්කර හැර සිටි ශිප්පොරා නම් ඔහුගේ බිරිඳ ද</verse>
				<verse number="3">ඇගේ පුතුන් දෙදෙනා ද කැඳවාගෙන ආවේ ය. මොවුන් එක් කෙනෙකුගේ නම ගේර්ෂොම් ය. එහි අර්ථය, මෝසෙස් කී ලෙස ‘මම අමුතු රටක ආගන්තුකයෙකු මෙන්, සිටියෙමි’ යනුයි.</verse>
				<verse number="4">අනික් පුත්‍රයාගේ නම එලියේසර් ය. එහි අර්ථය, ඔහු කී ලෙස, ‘මාගේ පියාගේ දෙවියන් වහන්සේ මාගේ ආධාරය වී පාරාවෝගේ කඩුවෙන් මා මිදූ සේක’ යනුයි.</verse>
				<verse number="5">මෝසෙස්ගේ මාමණ්ඩි වන ජෙත්රෝ මෝසෙස්ගේ බිරිඳ සහ පුතුන් ද රැගෙන, දෙවියන් වහන්සේගේ කන්ද ළඟ පාළුකරයේ කඳවුරු බැඳ සිටි මෝසෙස් වෙත පැමිණියේ ය.</verse>
				<verse number="6">ඔහු මෝසෙස් වෙත පණිවුඩයක් යවමින්, “ඔබේ මාමණ්ඩි වන ජෙත්රෝ නම් මම, ඔබේ බිරිඳ හා පුතුන් දෙදෙන ද සමඟ ඔබ හමු වීමට පැමිණ සිටිමි”යි සැළ කෙළේ ය.</verse>
				<verse number="7">මෝසෙස් තම මාමණ්ඩි හමු වීමට නික්ම ගොස් ආචාර සමාචාර කොට ඔහු සිප ගත්තේ ය. තවද, ඔවුන් එකිනෙකාගේ සුව දුක් විචාළ පසු, ඔව්හු කූඩාරමට ඇතුළු වූ හ.</verse>
				<verse number="8">මෝසෙස් තම මාමණ්ඩිට කතා කොට, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා උදෙසා පාරාවෝට සහ මිසර වැසියන්ට කළ දේවල් ද මඟ දී ඔවුන්ට මූණ පාන්නට වූ සියලු අමාරුකම් ද සමිඳාණන් වහන්සේ ඔවුන් ගැළවූ අයුරු ද දැන්වී ය.</verse>
				<verse number="9">සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් මිසර වාසීන්ගේ අතින් මුදා, ඔවුන්ට උන් වහන්සේ කර දුන් සියලු යහපත්කම් ගැන ජෙත්රෝ ප්‍රීති ප්‍රමෝද විය.</verse>
				<verse number="10">ජෙත්රෝ කතා කොට, “මිසර වාසීන්ගේ අතින් ද පාරාවෝගේ අතින් ද ඔබ මුදාලූ, මිසර වාසීන්ගේ වහල් මෙහෙවරින් සෙනඟ මුදාලූ සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා!</verse>
				<verse number="11">තවද, සමිඳාණන් වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා උත්තරීතර බව මම දැන් දනිමි. මන්ද, මිසර වාසීන් ඉතා අහංකාර ලෙස ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ක්‍රියා කළ විට උන් වහන්සේ මෙය කළ සේකැ”යි කී ය.</verse>
				<verse number="12">ඉන්පසු මෝසෙස්ගේ මාමණ්ඩි වන ජෙත්රෝ සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිස දවන යාග පූජාවක් හා පුද පඬුරු ගෙනාවේ ය. ආරොන් ද ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් සියල්ලෝ ද මෝසෙස්ගේ මාමණ්ඩි සමඟ දෙවියන් වහන්සේ ඉදිරියෙහි භෝජනයට සහභාගි වූ හ.</verse>
				<verse number="13">පසු දින මෝසෙස් සෙනඟ විනිශ්චය කරනු සඳහා අසුන් ගත්තේ ය. සෙනඟ උදය සිට සවස දක්වා ඔහු අවට සිටියහ.</verse>
				<verse number="14">තවද, සෙනඟ සම්බන්ධයෙන් මෝසෙස් කරන්නට වූ සියල්ල දුටු මෝසෙස්ගේ මාමණ්ඩි ඔහුට කතා කරමින්, “ඔබ සෙනඟට මේ කරන්නේ කුමක් ද? ඔබ තනියම අසුන් ගෙන සිටින්නෙත්, මුළු සෙනඟ උදේ පටන් සවස දක්වා ඔබ ළඟ සිටින්නෙත් මන්දැ”යි විචාළේ ය.</verse>
				<verse number="15">එවිට මෝසෙස් තම මාමණ්ඩිට පිළිතුරු දෙමින්, “මා මෙසේ කරන්නේ, සෙනඟ දෙවියන් වහන්සේගෙන් උපදෙස් ලබාගැනීම සඳහා මා වෙත එන නිසා ය.</verse>
				<verse number="16">ඔවුන් අතර ප්‍රශ්නයක් ඇති වූ විට ඔව්හු මා වෙත එති. මම ද ඔවුනොවුන් විනිශ්චය කොට දෙවියන් වහන්සේගේ ආඥා සහ අණපණත් ඔවුන්ට දන්වමි”යි කීවේ ය.</verse>
				<verse number="17">එවිට මෝසෙස්ගේ මාමා ඔහුට කතා කොට, “ඔබ කරන දේ හරි නැත.</verse>
				<verse number="18">ඔබත්, ඔබ ළඟ සිටින මේ සෙනඟත් අතිශයින් විඩාවට පත්වනු ඇත. මේ කටයුත්ත ඔබට බර වැඩි ය. ඔබට එය තනියම ඉටු කිරීම නොහැක.</verse>
				<verse number="19">එබැවින් දැන් මා කියන දේට සවන් දෙන්න. මම ඔබට දැනමුතුකමක් දෙමි. දෙවියන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියෙහි නියෝජිතයෙකු වී, නඩුහබ උන් වහන්සේ ඉදිරියට පමුණුවන්න.</verse>
				<verse number="20">ඔබ ඔවුන්ට ආඥා සහ අණපණත් උගන්වමින් ඔවුන් හැසිරිය යුතු අන්දම හා ඔවුන් ඉටු කළ යුතු දේ ද පෙන්වා දිය යුතු ය.</verse>
				<verse number="21">තවද, ඔබ මුළු සෙනඟ අතුරින් දේව භය ඇති, සත්‍යවාදී, අල්ලස් නොගන්නා දක්ෂ මිනිසුන් තෝරා ඔවුන් අතර සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද පණසාධිපතීන් හා දශාධිපතීන් ද වශයෙන් ඔවුන් පත් කරන්න.</verse>
				<verse number="22">ඔවුන් සියලු අවස්ථාවන්හි දී මිනිසුන් විනිශ්චය කළ යුතු ය. එහෙත්, වැදගත් ප්‍රශ්නයක් තිබේ නම් ඔවුන් ඔබ වෙත එය ගෙනා යුතු ය. එහෙත්, සෑම සුළු කරුණක් ඔවුන් ම විනිශ්චය කළ යුතුයි. එසේ කළොත් ඔබට වඩාත් පහසු වේ. ඔවුන් ද ඔබ සමඟ වගකීමේ බර උසුලනු ඇත.</verse>
				<verse number="23">දෙවියන් වහන්සේ ඔබට අණ කරන ලෙස ඔබ මෙය කරන්නෙහි නම් ඔබ විඩාවට පත් නොවනු ඇත. මේ සෙනඟට ද තම තමන්ගේ ගෙවලට සමගි සාමදානයෙන් යන්න පුළුවන් වේ ය”යි කී ය.</verse>
				<verse number="24">මෝසෙස් තම මාමණ්ඩි කී දේට සවන් දී ඔහු කී සියල්ල ඉටු කෙළේ ය.</verse>
				<verse number="25">ඔහු ඉශ්රායෙල්වරුන් සියලු දෙනා අතුරින් දක්ෂ මිනිසුන් තෝරා සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද පණසාධිපතීන් හා දශාධිපතීන් ද වශයෙන් සෙනඟගේ නායකයන් ලෙස පත් කෙළේ ය.</verse>
				<verse number="26">ඔව්හු සියලු අවස්ථාවල දී සෙනඟ විනිශ්චය කළහ. දුෂ්කර ප්‍රශ්න ඔවුන් මෝසෙස් වෙත ගෙනා නමුත්, සෑම සුළු කරුණක් ම ඔව්හු ම විනිශ්චය කළහ.</verse>
				<verse number="27">ඉන්පසු මෝසෙස් තම මාමණ්ඩිට යන්නට හැරියේ ය. ඔහු ද සිය රට බලා ගියේ ය.</verse>
			</chapter>
			<chapter number="19">
				<verse number="1">ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් නික්ම ගොස් තෙ වන මස පළමු වන දින සීනයි නම් පාළුකරයට පැමිණියහ.</verse>
				<verse number="2">ඔව්හු රෙපිඩීම් නම් ස්ථානයෙන් පිටත් ව සීනයි පාළුකරයට පැමිණ එහි කඳවුරු බැඳගත්හ. එහි ඔවුන්ගේ කඳවුර පිහිටියේ කන්ද ඉදිරිපිට ය.</verse>
				<verse number="3">මෝසෙස් දෙවියන් වහන්සේ හමු වීමට කන්දට නැංගේ ය. එවිට සමිඳාණන් වහන්සේ කන්දේ සිට ඔහුට හඬගසා, “නුඹ ජාකොබ්ගේ පෙළපත වන ඉශ්රායෙල් ජනයාට මෙසේ කිව යුතු ය:</verse>
				<verse number="4">‘මා මිසර වැසියන්ට කළ දේ ද, මා නුඹලා රාජාලියෙකුගේ පියාපත් උඩ ගෙනෙන මෙන් මා වෙත නුඹලා උසුලාගෙන පැමිණි අයුරු ද නුඹලා දුටුවහු ය.</verse>
				<verse number="5">එබැවින් දැන් ඉතින් නුඹලා සැබැවින් ම මාගේ හඬට කීකරු වන්නහු නම්, මාගේ ගිවිසුම පිළිපදින්නහු නම්, සියලු සෙනඟ අතුරින් නුඹලා මට ම අයිති සම්පත වන්නහු ය. මන්ද, මුළු මහ පොළොව මා සතු ය.</verse>
				<verse number="6">නුඹලා මට පූජක රාජ්‍යයක් ද කැප වූ ජාතියක් ද වන්නහු ය’ ”යි වදාළ සේක.</verse>
				<verse number="7">ඉන්පසු මෝසෙස් පැමිණ, සෙනඟගේ ප්‍රජා මූලිකයන් කැඳවා සමිඳාණන් වහන්සේ ඔහුට අණ කළ මේ සියලු දේ ඔවුන්ට දැන්වී ය.</verse>
				<verse number="8">එවිට මුළු සෙනඟ ද එක්සත් ව පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ වදාළ සියල්ල අපි ඉටු කරන්නෙමු”යි කී හ. ඉන්පසු මෝසෙස් සෙනඟ කී දේ සමිඳාණන් වහන්සේට සැළ කෙළේ ය.</verse>
				<verse number="9">නැවත සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “බලන්න, මා නුඹ සමඟ කතා කරන විට සෙනඟට ඇසෙන පිණිසත්, ඔවුන් නිතර ම නුඹ විශ්වාස කරන පිණිසත් මම නුඹ වෙත ඝන වලාකුළක් මඟින් එන්නෙමි”යි වදාළ සේක. මෝසෙස් සෙනඟ දුන් පිළිතුර සමිඳාණන් වහන්සේට දැන්වී ය.</verse>
				<verse number="10">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “සෙනඟ වෙත ගොස් අදත්, හෙටත් නමස්කාරය පිණිස ඔවුන් සූදානම් කරන්න. ඔවුන් තම වස්ත්‍ර සෝදා,</verse>
				<verse number="11">තුන් වන දවසට සූදානම් ව සිටිය යුතුයි. තුන් වන දවසේ දී මුළු සෙනඟ බලාගෙන සිටින විට සමිඳාණන් වහන්සේ වන මම සීනයි කන්ද මත බැස එන්නෙමි.</verse>
				<verse number="12">නුඹ කන්ද වට කර සෙනඟ මායිමේ සිටුවා, ‘කන්දට නොනඟින හැටියටත්, කන්ද පාමුල ස්පර්ශ නොකරන හැටියටත් පරෙස්සම් වන්නැ’යි ඔවුන්ට කියන්න. යමෙකු කන්ද ස්පර්ශ කළොත් ඔහු ඇත්තෙන් ම මරනු ලැබේ.</verse>
				<verse number="13">එහෙත්, ඒ තැනැත්තාට අත නොතබා, ඔහුට ගල් ගසනු ලැබිය යුතුයි. නැත්නම් ඔහු ඊගසින් විදදැමිය යුතුයි. මෘගයකු වුවත්, මනුෂ්‍යයෙකු වුවත් ජීවත් නොවිය යුතු ය. හොරණෑව දීර්ඝ ස්වරයක් නංවන විට ඔවුන් කන්ද වෙත පැමිණිය යුතු ය”යි වදාළ සේක.</verse>
				<verse number="14">මෝසෙස් කන්දෙන් බැස සෙනඟ වෙත පැමිණ නමස්කාරය සඳහා ඔවුන් සූදානම් කෙළේ ය. ඔව්හු ද තමන් වස්ත්‍ර සෝදාගත්හ.</verse>
				<verse number="15">ඔහු සෙනඟට කතා කරමින්, “තුන් වන දවසට සූදානම් වී සිටින්න; ස්ත්‍රී සේවනයෙන් වළකින්නැ”යි කීවේ ය.</verse>
				<verse number="16">තුන් වන දවස උදා වූ විට කන්ද මත මේඝ ගර්ජනා හා විදුලි කෙටීම් ද, ඝන වලාකුළක් ද, තද හොරණෑ හඬක් ද විය. කඳවුරේ සිටි සියලු සෙනඟ වෙව්ලන්නට වූ හ.</verse>
				<verse number="17">එවිට මෝසෙස් දෙවියන් වහන්සේ හමු වන පිණිස සෙනඟ කඳවුරින් පිටතට ගෙනාවේ ය. ඔව්හු කන්ද පාමුල සිටගත්හ.</verse>
				<verse number="18">සමිඳාණන් වහන්සේ ගිනි ජාලාවකින් කන්ද මත බැස වදාළ බැවින් එය සම්පූර්ණයෙන් ම දුමින් වැසී තිබිණි. එහි දුම, උදුනක දුමක් මෙන් නැංගේ ය. තවද, මුළු කන්ද ම වේගවත් ලෙස දෙදරන්නට විය.</verse>
				<verse number="19">හොරණෑ හඬ ද දිගට ම නද දෙමින් එන්න එන්න වැඩි විය. මෝසෙස් කතා කළ විට දෙවියන් වහන්සේ ගිගුරුම් හඬකින් උත්තර දුන් සේක.</verse>
				<verse number="20">සමිඳාණන් වහන්සේ එවිට සීනයි කඳු මුදුනට බැස වදාළ සේක. උන් වහන්සේ මෝසෙස් කඳු මුදුනට කැඳවූ බැවින්, ඔහු ද එහි නැඟී ගියේ ය.</verse>
				<verse number="21">උන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹ බැස ගොස් සමිඳාණන් වහන්සේ වන මා බැලීමට මායිම් බිඳගෙන නොඑන පිණිස සෙනඟට අණ කරන්න. නැත්නම් බොහෝ දෙනෙකු නසින්න පුළුවන.</verse>
				<verse number="22">සමිඳාණන් වහන්සේ වන මා සමීපයට එන පූජකවරුන් ද පවිත්‍ර වීමේ වත්පිළිවෙත් ඉටු කළ යුතු ය. නැත්නම් මම ඔවුන්ට පහර දෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="23">එවිට මෝසෙස් සමිඳාණන් වහන්සේට කතා කොට, “සෙනඟට සීනයි කන්දට නැඟිය නොහැකි ය. මන්ද, ‘කන්ද වට කර මායිම් සිටුවා එය ශුද්ධ භූමියක් ලෙස කැප කරන්නැ’යි කියා ඔබ අපට අණ කළ බැවිනැ”යි කීවේ ය.</verse>
				<verse number="24">උන් වහන්සේ ඔහු අමතමින්, “යන්න, බැස ගොස්, නුඹ ද නුඹ සමඟ ආරොන් ද කැඳවා ගෙන නැඟී එන්න. එහෙත් පූජකවරුන් ද සෙනඟ ද සමිඳාණන් වහන්සේ වන මා වෙත නැඟී ඒමට මායිම් නොබිඳිය යුතු ය. එසේ වුණොත් මම ඔවුන්ට පහර දෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="25">පසුව මෝසෙස් ද සෙනඟ වෙත බැස ගොස් ඔවුන්ට එලෙස දැන්වී ය.</verse>
			</chapter>
			<chapter number="20">
				<verse number="1">දෙවියන් වහන්සේ කතා කොට මේ සියලු ආඥා වදාළ සේක:</verse>
				<verse number="2">“වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ මම ය.</verse>
				<verse number="3">“මා හැර අන් කිසි ම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය.”</verse>
				<verse number="4">“නුඹ සඳහා නෙළූ රූපයක් හෝ ඉහළ අහසෙහි වත්, පහළ පොළොවෙහි වත්, පොළොවෙන් යට ජලයෙහි වත් ඇති කිසි ම වස්තුවකට සමාන දෙයක් හෝ සාදා නොගන්න.</verse>
				<verse number="5">නුඹ ඒවාට නමස්කාර නොකරන්න; ඒවාට නොවඳින්න. මන්ද, නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන් වන, සතර වන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි.</verse>
				<verse number="6">එහෙත්, මට ප්‍රේම කරමින් මාගේ ආඥා පිළිපදින දහස් ගණන් අයට මම කරුණාව දක්වමි.</verse>
				<verse number="7">“නුඹ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය අගරු ලෙස භාවිතා නොකරව. යමෙක් ඒ නාමය අගරු ලෙස භාවිතා කරන්නේ ද ඔහුට මම දඬුවම් කරමි.”</verse>
				<verse number="8">“සබත් දවස ශුද්ධ ලෙස පැවැත්වීමට සිතට ගන්න.</verse>
				<verse number="9">දවස් හයක් තුළ නුඹ වෙහෙස වී නුඹේ සියලු වැඩ කළ යුතු ය.</verse>
				<verse number="10">එහෙත්, හත් වන දවස නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ සබත ය. එදින නුඹ වත්, නුඹේ පුතු වත්, දුව වත්, නුඹේ සේවකයා වත්, සේවිකාව වත්, නුඹේ සතෙකු වත්, නුඹේ වාසල් දොරටු සීමා ඇතුළ සිටින අමුත්තෙකු වත් කිසි වැඩක් නොකළ යුතු ය.</verse>
				<verse number="11">මන්ද, සමිඳාණන් වහන්සේ වන මම දින හයක් තුළ අහස හා පොළොව ද, සමුද්‍රය ද, ඒවායේ ඇති සියල්ල ද සාදා, සත් වන දවස නිවාඩු ගත්තෙමි. එබැවින් උන් වහන්සේ සබත් දවසට ආශීර්වාද කොට එය විශුද්ධ කළ සේක.</verse>
				<verse number="12">“නුඹේ පියාට ද, මවට ද ගෞරව කරව. එවිට නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹට දෙන රටේ නුඹ බොහෝ කාලයක් ජීවත් වන්නෙහි ය.</verse>
				<verse number="13">“මිනී නොමරව.</verse>
				<verse number="14">“කාමමිථ්‍යාචාරය නොකරව.</verse>
				<verse number="15">“සොරකම් නොකරව.</verse>
				<verse number="16">“නුඹේ අසල්වැසියාට විරුද්ධ ව බොරු සාක්ෂි නොකියව.</verse>
				<verse number="17">“නුඹේ අසල්වැසියාගේ ගෘහයට නුඹ ඇළුම් නොකරව. තවද, නුඹේ අසල්වැසියාගේ භාර්යාවට හෝ ඔහුගේ සේවකයාට හෝ සේවිකාවට හෝ ඔහුගේ ගවයාට හෝ කොටළුවාට හෝ නුඹේ අසල්වැසියා සතු වෙනත් කිසිවකට හෝ ඇළුම් නොකරව.”</verse>
				<verse number="18">මුළු සෙනඟ මේඝ ගර්ජනා හඬ සහ හොරණෑ ශබ්දය අසා, විදුලි කෙටීම් සහ දුම් දමන කන්ද දැක බියෙන් වෙව්ලමින්, බොහෝ ඈතින් සිටගත්හ.</verse>
				<verse number="19">එවිට ඔව්හු මෝසෙස් අමතමින්, “ඔබ අප සමඟ කතා කරන්න; අපි ඇහුම්කන් දෙන්නෙමු. එහෙත්, දෙවියන් වහන්සේ අප සමඟ කතා නොකරන සේක් වා! මන්ද, එසේ කළොත් අප මියයන්නට පුළුවනැ”යි කී හ.</verse>
				<verse number="20">ඔහු සෙනඟට උත්තර දෙමින්, “බිය නොවන්න; දෙවියන් වහන්සේ ඔබ පරීක්ෂා කරන පිණිසත්, ඔබ පව් නොකරන ලෙස උන් වහන්සේ කෙරෙහි බිය උපදවන පිණිසත් පැමිණි සේකැ”යි කී ය.</verse>
				<verse number="21">එහෙත්, සෙනඟ ඈතින් ම සිටගත් කල මෝසෙස් දෙවියන් වහන්සේ වැඩසිටි අඳුරු වලාකුළට සමීප විය.</verse>
				<verse number="22">සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින් මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් ජනයාට නුඹ මෙසේ කියන්න, ‘මා ස්වර්ගයේ සිට නුඹලා සමඟ කතා කළ බව නුඹලා දුටුවහු ය.</verse>
				<verse number="23">මා සමඟ නමස්කාරය ලැබීමට නුඹලා රිදීයෙන් හෝ රනින් හෝ දෙවිවරුන් නොසාදන්න.’</verse>
				<verse number="24">පස්වලින් පූජාසනයක් මට තනා, එය මත නුඹලාගේ දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද නුඹලාගේ බැටළුවන් ද ගවයන් ද පූජා කළ යුතු ය. තවද, මාගේ නාමය සිහි කරනු ලබන සෑම ස්ථානයක දී ම මම නුඹලා වෙත පැමිණ නුඹලාට ආශීර්වාද කරමි.</verse>
				<verse number="25">එහෙත්, මා සඳහා නුඹලා ගලින් පූජාසනයක් සාදන්නහු නම් නුඹලා එය කැපූ ගලින් ඉදි නොකරන්න. මන්ද, මෙවලමකින් නෙළන විට එය දූෂ්‍ය වන හෙයිනි.</verse>
				<verse number="26">තවද, නුඹලා මාගේ පූජාසනය වෙත යන විට නුඹලාගේ නග්න භාවය නොපෙනෙන පිණිස පඩිවලින් ඊට නොනැඟිය යුතු ය.”</verse>
			</chapter>
			<chapter number="21">
				<verse number="1">“තවද, නුඹ පහත දක්වන නියෝග ද සෙනඟ ඉදිරියෙහි තැබිය යුතු ය.</verse>
				<verse number="2">නුඹ හෙබ්‍රෙව් ජාතික දාසයෙකු මිලයට ගත් විට, ඔහු අවුරුදු හයක් සේවය කොට, හත් වන අවුරුද්දේ දී කිසි වන්දි ගෙවීමක් නොමැති ව ඔහුට නිදහස් ව යන්නට ඉඩ දිය යුතු ය.</verse>
				<verse number="3">ඔහු තනියම පැමිණියේ නම්, ඔහු තනියම පිට වී යා යුතු ය. ඔහු විවාහ වී පැමිණියේ නම් ඔහුගේ බිරිඳ ද ඔහු සමඟ පිට වී යා යුතු ය.</verse>
				<verse number="4">ඔහුගේ ස්වාමියා ඔහුට භාර්යාවක පාවා දුන්නේ නම්, තවද ඈ ඔහුගෙන් දරුදැරියන් ලැබුවා නම්, භාර්යාවත්, ඇගේ දරුවනුත් ස්වාමියාට අයිති වනු ඇත. එබැවින් ඔහු තනියම පිට වී යා යුතු ය.</verse>
				<verse number="5">එහෙත්, දාසයා, ‘මම මාගේ ස්වාමියාට ද මාගේ භාර්යාවට ද මාගේ දරුවන්ට ද ප්‍රේම කරමි. මට නිදහස උවමනා නැතැ’යි කියා ප්‍රකාශ කරන්නේ නම්,</verse>
				<verse number="6">ඔහුගේ ස්වාමියා ඔහු දෙවියන් වහන්සේ වෙතට ගෙන යා යුතු ය. දොර හෝ උළුවහු කණුව හෝ ළඟට ඔහු ගෙන ගොස්, ස්වාමියා ඔහුගේ කන උල් කටුවකින් විද්ද යුතුයි. ඉන්පසු ඔහු සදහට ම ස්වාමියාට සේවය කළ යුතු වේ.</verse>
				<verse number="7">“යම් මිනිසෙකු දාසියක ලෙස තම දුව විකුණුවහොත් ඈ දාසයෙකු නිදහස ලබන පරිදි තම නිදහස නොලබන්නී ය.</verse>
				<verse number="8">භාර්යාවක වශයෙන් තමා පාවාගත් ස්වාමියාට ඈ ප්‍රිය මනාප නොවන්නී නම්, ඈ ආපසු මිල දී ගැනීමට අවසර දිය යුතු ය. එහෙත්, ඔහුට ඇය විදේශිකයෙකුට විකිණීමට බලයක් නොමැත. මන්ද, එසේ කිරීම ඇයට කරන අසාධාරණයක් බැවිනි.</verse>
				<verse number="9">ස්වාමියා ඇය තම පුතුට දෙන්න අදහස් කරන්නේ නම්, ඔහු තම දූවරුන්ට මෙන් ඇයට ද සංග්‍රහ කළ යුතු ය.</verse>
				<verse number="10">එහෙත්, ඔහු අන් භාර්යාවක පාවාගන්නේ නම්, පළමු භාර්යාවට දෙන ආහාර, වස්ත්‍ර, භාර්යාවක වශයෙන් ඈ කෙරෙහි ඇති යුතුකම්, අඩු නොකළ යුතුයි.</verse>
				<verse number="11">එහෙත්, ඔහු ඇයට මේ තුන් වැදෑරුම් යුතුකම් අඩු කරන්නේ නම් ඇයට නොමිලයේ පිට වී යාමට අවසර දිය යුතු ය.”</verse>
				<verse number="12">“යමෙක් මිනිසෙකුට පහර දී ඔහු මරන්නේ නම් ඒ තැනැත්තා මරනු ලැබිය යුතු ම ය.</verse>
				<verse number="13">එහෙත්, මැරීමේ අදහසක් නැති ව හදිසි අනතුරකින් මරණය සිදු වී නම් ඒ තැනැත්තා පලා යා යුතු ස්ථානයක් මම නුඹට නියම කරමි.</verse>
				<verse number="14">එහෙත් යම් මිනිසෙක් ඕනෑකමින් තම අසල්වැසියා වෙත පැමිණ ඔහු ප්‍රයෝගයෙන් මරන්නේ නම්, ඒ තැනැත්තා මරාදමන පිණිස මාගේ පූජාසනය වෙතින් පවා ඔහු ගෙන යා හැකි ය.</verse>
				<verse number="15">“තම පියාට හෝ මවට හෝ පහර දෙන තැනැත්තා මරනු ලැබිය යුතු ම ය.</verse>
				<verse number="16">මිනිසෙකු බලයෙන් පැහැරගෙන, විකුණන හෝ තමා ළඟ තබාගන්න හෝ තැනැත්තා මරනු ලැබිය යුතුම ය.</verse>
				<verse number="17">තම පියාට හෝ මවට හෝ සාප කරන තැනැත්තා මරනු ලැබිය යුතු ම ය.</verse>
				<verse number="18">මිනිසුන් දබර කොට ඔවුන්ගෙන් එකෙකු අනෙකාට ගලකින් හෝ අත මිට මොලවා හෝ පහර දුන් නමුත් ඔහු නොමැරී, ඇඳට වී සිට,</verse>
				<verse number="19">යළි නැඟිට, සැරයටියක වාරුවෙන් ගෙයින් පිටත ඇවිදින්නේ නම්, එවිට පහර දුන් තැනැත්තාට දඬුවම් නොදිය යුතු ය. එහෙත්, ඔහු අනිත් තැනැත්තාගේ වැඩ නැති කාලය සඳහා වන්දියක් ගෙවිය යුතු අතර, ඔහු සම්පූර්ණයෙන් ම සුව වන තුරු බලාගත යුතු ය.</verse>
				<verse number="20">“යමෙකු තම දාසයාට හෝ දාසියට හෝ කෝටුවකින් පහර දී එවැන්නෙක් එතැන ම මළේ නම්, ඒ තැනැත්තා දඬුවම් ලැබිය යුතු ම ය.</verse>
				<verse number="21">එහෙත්, එවැන්නෙක් ජීවත් වන්නේ දවසක් දෙකක් නම් එවිට ඔහුගේ ස්වාමියාට දඬුවම් කරනු නොලැබේ. මන්ද, ඔහු ඒ තැනැත්තා මිල දී ගත් හෙයිනි.</verse>
				<verse number="22">මිනිසුන් දබර කොට, ගැබ්ගත් ස්ත්‍රියකට පහර දී, ඈ ගබ්සා වූ නමුත් ඇයට අනතුරක් නුවූවත් ස්ත්‍රියගේ සැමියා ඉල්ලන ප්‍රකාර ඒ තැනැත්තාට දඬුවම් දිය යුතු ම ය. තවද, විනිසකරුවන්ගේ තීරණය පරිදි ඔහු වන්දි ද ගෙවිය යුතුයි.</verse>
				<verse number="23">එහෙත්, අනතුරක් වුවහොත් පණට පණ ද,</verse>
				<verse number="24">ඇසට ඇස ද, දතට දත ද, අතට අත ද, පයට පය ද,</verse>
				<verse number="25">දැවීමට දැවීම ද, තුවාළයට තුවාළය ද, පහරට පහර ද දිය යුතු ය.</verse>
				<verse number="26">“යමෙක් තම දාසයාගේ හෝ දාසියගේ හෝ ඇසට පහර දී එය අන්ධ කරන්නේ නම් නැති වූ ඇසට වන්දියක් වශයෙන් ඒ අය නිදහස් කර හැරිය යුතු ය.</verse>
				<verse number="27">යමෙකු තම දාසයාගේ හෝ දාසියගේ හෝ දත් ගැලවී යන්න ගැසුවහොත්, දතට වන්දියක් වශයෙන් ඒ අය නිදහස් කර හැරිය යුතු ය.”</verse>
				<verse number="28">“ගොනෙක් පුරුෂයෙකුට හෝ ස්ත්‍රියකට හෝ ඇන මරන්නේ නම්, ඒ ගොනාට ගල් ගසා මැරිය යුතු ය. උගේ මස් ද නොකෑ යුතු ය. එහෙත්, ගොනා අයිතිකරුට දඬුවම් කරනු නොලැබේ.</verse>
				<verse number="29">එහෙත්, ගොනා කලින් පවා අනින්ට පුරුදු එකෙක් නම්, තවද ඒ බව උගේ අයිතිකරුට දන්වා තිබුණ නමුත් ඔහු ඌ කොටු කර නොතැබීම නිසා යම් පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හෝ මැරුවේ නම් ගොනාට ගල් ගසා මැරිය යුතු ය. උගේ අයිතිකරු ද මරනු ලැබිය යුතු ය.</verse>
				<verse number="30">එහෙත්, ඔහු විසින් ගෙවිය යුතු වන්දිය නියම කර තිබේ නම් තම පණ බේරාගැන්ම සඳහා ඔහුට නියම කරන සියල්ල ඔහු ගෙවිය යුතු ය.</verse>
				<verse number="31">ගොනා පිරිමි ළමයෙකුට හෝ ගැහැණු ළමයෙකුට හෝ ඇන මැරුවහොත් මේ නියමය අනුව ම එය ද විසඳනු ලැබිය යුතු ය.</verse>
				<verse number="32">ගොනා දාසයෙකුට හෝ දාසියකට හෝ ඇන මැරුවහොත්, ඌ අයිතිකරු ඔවුන්ගේ ස්වාමියාට රිදී කාසි තිහක් දිය යුතු අතර ගොනාට ද ගල් ගසා මරාදැමිය යුතු ය.</verse>
				<verse number="33">“යමෙක් වළක වැස්ම හැර තබන්නේ නම්, නොහොත් වළක් කැණ එය නොවසා තබන්නේ නම්, ගවයෙකු හෝ කොටළුවෙකු හෝ ඊට වැටුණොත්,</verse>
				<verse number="34">වළ අයිතිකරු අලාභය ගෙවමින් උන්ගේ අයිතිකරුට මුදල් දිය යුතු ය. එහෙත් මළ සතා ඔහුට අයිති වෙත්.</verse>
				<verse number="35">යමෙකුගේ ගොනෙකු වෙන අයෙකුගේ ගොනෙකුට ඇන මැරුවහොත්, පණ පිටින් සිටින ගොනා විකුණා ඒ මුදල ඔවුන් තමන් අතර බෙදාගත යුතු ය. මළ සතාගේ මස් ද බෙදාගත යුතු ය.</verse>
				<verse number="36">එහෙත්, කලින් පවා ඒ ගොනා අනින්න පුරුදු එකෙක් නම්, ඌ අයිතිකරු ගොනා කොටු නොකර තැබුවේ නම්, ඔහු වන්දි වශයෙන් ගොනා වෙනුවට ගොනෙකු දිය යුතුයි. එහෙත්, මළ සතා ඔහුට අයිති වේ.”</verse>
			</chapter>
			<chapter number="22">
				<verse number="1">“යමෙක් ගොනෙකු හෝ බැටළුවෙකු හෝ සොරකම් කොට ඌ මරන්නේ ද නැත්නම් ඌ විකුණන්නේ ද එවිට ඔහු ගොනෙකු වෙනුවට ගොනුන් පස්දෙනෙකු බැගින් ද, බැටළුවෙකු වෙනුවට බැටළුවන් හතරදෙනෙකු බැගින් ද වන්දි ගෙවිය යුතු ය.</verse>
				<verse number="2">සොරාගත් සතා ඔහු ළඟ පණපිටින් ම සිට සම්බ වුණොත් ඌ ගොනෙක් වේ වා, කොටළුවෙක් වේ වා, බැටළුවෙක් වේ වා, ඔහු දෙගුණයක් ගෙවිය යුතු ය. ඔහු සම්පූර්ණ වන්දිය ම ගෙවිය යුතු වේ. එහෙත්, ඔහුට වත්කමක් නැත්නම් සොරකමේ වටිනාකම ගෙවීමට ඔහු විකුණනු ලැබිය යුතු ය. ගෙයක් බිඳින සොරෙකුට පහර දී ඔහු මළොත්, පහර දුන් තැනැත්තා වරදකරුවෙක් නොවේ. එහෙත්, ඉර උදා වූ පසු එය, කෙළේ නම් පහර දුන් තැනැත්තා වරදකරුවෙකි.</verse>
				<verse number="3">***</verse>
				<verse number="4">***</verse>
				<verse number="5">“යමෙක් කුඹුරක හෝ මිදි වත්තක හෝ තමාගේ මෘගයාට කන්න ඉඩ හරින්නේ නම්, එසේ නැත්නම් ඌ ලිහා දමා තිබිය දී ඌ වෙන අයෙකුගේ කෙතක කන්නේ නම්, ඔහු තමාගේ කුඹුරින් හා මිදි වත්තෙන් ඉස්තරම් කොටසින් අලාභය ගෙවිය යුතු ය.</verse>
				<verse number="6">“ගින්නක් හටගෙන, කටු පඳුරුවලට ඇවිළී ගොයම් කොළ හෝ නොකැපු ගොයම හෝ කුඹුර හෝ එයින් දැවී ගියහොත් ගින්න ගැන වගකිවයුතු තැනැත්තා සම්පූර්ණ අලාභය ගෙවිය යුතු ය.</verse>
				<verse number="7">“යමෙකු මුදල් හෝ බඩු හෝ ප්‍රවේසම පිණිස වෙන කෙනෙකුට බාර දී, ඔහුගේ ගෙයින් ඒවා සොරකම් කරනු ලැබ සොරා අසු වුවහොත් ඔහු දෙගුණයක් අලාභය ගෙවිය යුතුයි.</verse>
				<verse number="8">සොරා අසු නුවුවහොත්, ගෙහිමියා තම අසල්වැසියාගේ බඩුවලට අත නොගැසූ බවට දෙවියන් වහන්සේ ඉදිරියෙහි දිවුරුම් දිය යුතු ය.</verse>
				<verse number="9">“විශ්වාසය කඩ කිරීමක දී එය ගොනෙකු ගැන හෝ කොටළුවෙකු ගැන හෝ බැටළුවෙකු ගැන හෝ වස්ත්‍ර ගැන හෝ නැති වූ වෙනත් යමක් ගැන හෝ වේ වා, වෙන අයෙක් එය ‘මගේ ය’යි කියා ගනී නම් දෙපක්ෂයේ නඩුව දෙවියන් වහන්සේ වෙත ගෙන යා යුතු ය. උන් වහන්සේ වරදකරු කියා තීරණය කරන තැනැත්තා අනිත් පක්ෂයට දෙගුණයක් ගෙවිය යුතු ය.</verse>
				<verse number="10">“යමෙකු අන් කෙනෙකුට කොටළුවෙකු හෝ ගොනෙකු හෝ බැටළුවෙකු හෝ වෙනත් මෘගයෙකු හෝ ප්‍රවේසම පිණිස බාර දුන් පසු, ඌ මැරුණොත්, නැත්නම් ඌට තුවාළයක් වුණොත්, එසේත් නැත්නම් කිසිවෙකුට නොපෙනී ඌ සොරා ගනු ලැබුවහොත්,</verse>
				<verse number="11">ඔහු තම අසල්වැසියාගේ දේපළ සොරා නොගත් බවට සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කරන දිවුරුමකින් දෙදෙනා අතර එය තීරණය කරගත යුතුයි. දේපළ හිමිකරු පාඩුව විඳදරාගත යුතු අතර අසල්වැසියා ඊට අලාභය නොගෙවිය යුතු ය.</verse>
				<verse number="12">එහෙත්, ඔහුගේ මෘගයා සොරකම් කරනු ලැබුවේ නම් ඔහු අසල්වැසියාට අලාභය ගෙවිය යුතුයි.</verse>
				<verse number="13">ඌ වන මෘගයන් විසින් කැබලි කොට ඉරාදමනු ලැබුවේ නම් සාක්ෂි පිණිස මළ සතාගේ ඉතිරි කොටස් ගෙනා යුතුයි. එවිට කැබලි කළ මෘගයාගේ අලාභය ඔහු නොගෙවන්නේ ය.</verse>
				<verse number="14">“යමෙකු අන් කෙනෙකුගෙන් මෘගයකු ඉල්ලාගෙන අයිතිකාරයා ඌ ළඟ නොසිටිය දී ඌට තුවාළ වුණොත් නැත්නම් ඌ මැරුණොත් ඔහු අලාභය ගෙවිය යුතු ම ය.</verse>
				<verse number="15">එහෙත්, මෘගයාගේ අයිතිකරු ළඟ සිටියේ නම් ඔහු අලාභය නොගෙවිය යුතු ය. ඌ කුලියට ගත් මෘගයෙකු නම් ඔහු කුලී මිල ගෙවිය යුතු ය.</verse>
				<verse number="16">“යමෙකු විවාහ ගිවිසුමක් කර නැති කන්‍යාවක පොළඹවා ඈ සමඟ සයනය කළොත් ඔහු දෑවැද්ද දී ඈ සමඟ විවාහ විය යුතු ය.</verse>
				<verse number="17">එහෙත්, ඇයගේ පියා ඔහුට ඇය විවාහ කර දීමට කොහෙත් ම කැමැති නැත්නම් ඔහු කන්‍යාවකට දිය යුතු මුදලට සම මුදලක් ගෙවිය යුතුයි.</verse>
				<verse number="18">“කොඩිවිනකාර ස්ත්‍රියකට ජීවත් වීමට ඉඩ නොදිය යුතු ය.</verse>
				<verse number="19">“මෘගයෙකු සමඟ මෛථූනයෙහි යෙදෙන්නා මරණයට පත් කළ යුතු ම ය.</verse>
				<verse number="20">“සමිඳාණන් වහන්සේ හැර අන් දෙවිවරුන්ට පුද පූජා කරන තැනැත්තා මරණයට පත් කළ යුතු ය.</verse>
				<verse number="21">“නුඹලා විදේශිකයෙකුට අයුත්තක් වත් හිරිහැරයක් වත් නොකළ යුතු ය. මන්ද, නුඹලා මිසර දේශයෙහි විදේශිකයන් ව සිටි හෙයිනි.</verse>
				<verse number="22">නුඹලා කණවැන්දුම් ස්ත්‍රියකට වත්, අනාථ දරුවෙකුට වත් හිරිහැර නොකළ යුතු ය.</verse>
				<verse number="23">නුඹලා ඔවුන්ට හිරිහැර කොට ඔවුන් මට මොරගැසුවොත් මම සැබැවින් ම ඔවුන්ගේ මොරගැසීමට සවන් දෙමි.</verse>
				<verse number="24">එවිට මගේ උදහස ඇවිළී, මම කඩුවෙන් නුඹලා නසන්නෙමි. නුඹලාගේ භාර්යාවෝ කණවැන්දුම් ස්ත්‍රීහු ද, නුඹලාගේ දරුවෝ අනාථ දරුවෝ ද වන්නෝ ය.</verse>
				<verse number="25">“නුඹලා මගේ සෙනඟ අතර සිටින දිළින්දෙකුට මුදල් ණයට දුන්නොත්, පොළියට මුදල් දෙන අය මෙන් නොහැසිරිය යුතු ය. නුඹලා බලයෙන් පොළියක් ද නොගත යුතු ය.</verse>
				<verse number="26">නුඹ උගසක් මෙන් යමෙකුගේ වස්ත්‍රය ගන්නෙහි නම් ඉර බැස යාමට පෙර එය ඔහුට ආපසු දිය යුතු ය.</verse>
				<verse number="27">මන්ද, ඔහුට ඇත්තේ ඒ පොරෝණය පමණක් බැවිනි. ඔහු තමාගේ ඇඟට පොරොවාගන්නේ ඒ වස්ත්‍රය වේ. නැත්නම් ඔහුට නිදාගන්න ඇත්තේ කුමක් ද? ඔහු මට මොරගසන විට මා අනුකම්පා සහගත බැවින් ඔහුට සවන් දෙමි.</verse>
				<verse number="28">“නුඹ, නුඹලාගේ දෙවියන් වහන්සේට පරිභව නොකළ යුතු ය. නුඹලා සෙනඟගේ අධිපතියෙකුට ද සාප නොකළ යුතු ය.</verse>
				<verse number="29">“නුඹ, ධාන්‍යවලින් ද මිදිරසින් ද මට දිය යුතු පඬුරු පුද කිරීමට පමා නොවිය යුතු ය. නුඹලාගේ පුතුන් අතර කුලුඳුලා මට දිය යුතු වේ.</verse>
				<verse number="30">නුඹලාගේ ගවයන් හා බැටළුවන් සම්බන්ධයෙන් ද එලෙස ම කළ යුතුයි. වහු පැටියා දින හතක් මවු ළඟ සිටි පසු අට වන දින නුඹලා ඌ මට දිය යුතු ය.</verse>
				<verse number="31">“නුඹලා මට ම කැපවූ මනුෂ්‍යයන් විය යුතුයි. තවද, කෙතේ වන මෘගයන් විසින් මරනු ලැබූ සතුන්ගේ මස් නුඹලා නොකෑ යුතු ය. ඒවා බල්ලන්ට දැමිය යුතු ය.”</verse>
			</chapter>
			<chapter number="23">
				<verse number="1">“නුඹලා අසත්‍ය ප්‍රකාශයක් නොකළ යුතු ය. බොරු සාක්ෂි දෙමින් වරදකරුවෙකුට උදව් නොකළ යුතු ය.</verse>
				<verse number="2">නපුරක් කිරීමට වැඩි දෙනාගේ පැත්ත නොගත යුතු ය. නඩුවක දී යුක්තියට පිටුපා වැඩි දෙනාගේ පැත්ත ගෙන සාක්ෂි නොදිය යුතු ය.</verse>
				<verse number="3">නඩුවක දී යමෙකු දිළින්දෙකු වන නිසා ම ඔහුගේ පැත්ත ගෙන ක්‍රියා නොකළ යුතු ය.</verse>
				<verse number="4">“නුඹේ සතුරාගේ ගවයා හෝ කොටළුවා හෝ මංමුළා වී ඇවිදිනු දුටුවොත්, නුඹ ඔහු වෙතට ඌ ආපසු ගෙන යා යුතු ය.</verse>
				<verse number="5">නුඹට වෛර කරන්නාගේ කොටළුවා උගේ බඩු තොගය යට වැටී සිටිනු නුඹ දුටුවොත්, ඌ සිටින මාර්ගයෙන් අහක් වී නොගොස්, ඌට උපකාර කළ යුතු ම ය.</verse>
				<verse number="6">“නුඹලා අතර වසන දිළින්දෙකුගේ නඩුවක දී ඔහුට අසාධාරණ ලෙස ක්‍රියා නොකළ යුතුයි.</verse>
				<verse number="7">බොරු පැමිණිලි කිරීමෙන් වැළකිය යුතු ය. නිදොස්, දැහැමි තැනැත්තා මරණයට පත් නොකළ යුතු ය. මන්ද, මම වරදකරුවන් නිදොස් නොකරන්නෙමි.</verse>
				<verse number="8">අල්ලස් නොගත යුතු ය. අල්ලස් වනාහි සාධාරණ ලෙස සිතීමේ බුද්ධිය අඳුරු කොට නිවැරදිකරුවන්ගේ නඩු අවනඩු කිරීමට පොළොඹවන දෙයකි.</verse>
				<verse number="9">“විදේශිකයෙකුට පීඩා නොකරන්න. මන්ද, නුඹලා මිසර දේශයෙහි විදේශී ව සිටි හෙයින් විදේශිකයන් විඳින දේ දන්නහු ය.”</verse>
				<verse number="10">“අවුරුදු හයක් නුඹේ ඉඩම් වගාකොට ඒවායේ අස්වැන්න නෙළාගත යුතු ය.</verse>
				<verse number="11">එහෙත් සත් වන අවුරුද්දේ දී ඒවා පුරන් ව තිබෙන්නට හැර, ඒවායේ ඇති වන පලදාව නොගත යුතු ය. එවිට නුඹේ සෙනඟ අතර සිටින දිළිඳුන්ට ඒවා කන්න පුළුවන. ඔවුන් ඉතිරි කරන දේ වන මෘගයන්ට කන්න පුළුවන. නුඹේ මිදි වතු හා ඔලීව වතු සම්බන්ධයෙන් ද එලෙස කළ යුතු ය.</verse>
				<verse number="12">දින හයක් නුඹ වැඩ කොට, හත් වන දින නුඹේ ගවයාට සහ කොටළුවාට විවේකය ලැබෙන පිණිසත්, නුඹේ දාසියගේ පුතුට හා විදේශිකයාට ශරීර ශක්තිය ලැබෙන පිණිසත් නුඹ විවේක ගත යුතු ය.</verse>
				<verse number="13">මා නුඹට කී සියල්ලට නුඹේ අවධානය යොමු කළ යුතු ය. අන් දෙවිවරුන්ගේ නාම සඳහන් නොකරන්න. ඒවා කටින් වත් පිට නොකළ යුතු ය.”</verse>
				<verse number="14">“අවුරුද්දකට තුන් වරක් මා උදෙසා මංගල්‍යක් පැවැත්විය යුතු ය.</verse>
				<verse number="15">නුමුහුන් රොටි මංගල්‍යය පැවැත්විය යුතු ය. මා අණ කළ පරිදි ආබිබ් මාසයේ නියමිත කාලයේ දී දින හතක් නුමුහුන් රොටි අනුභව කළ යුතු ය. මන්ද, නුඹලා මිසර දේශයෙන් නික්ම ආයේ ඒ මාසයේ ය. එහෙත්, කිසිවෙකු හිස් අතින් මා ඉදිරියට නොපැමිණිය යුතු ය.</verse>
				<verse number="16">තවද, නුඹ කෙතේ වගා කළ ධාන්‍යවල නාඹුල් පල නෙළන විට අගස් පල මංගල්‍යය පැවැත්විය යුතුයි. අවුරුද්ද අවසානයේ දී වතුපිටිවලින් නුඹේ පලතුරු රැස් කරන විට අස්වැන්නේ මංගල්‍යය සිදු කළ යුතු ය.</verse>
				<verse number="17">අවුරුද්දකට තුන් වරක් නුඹේ පිරිමින් සියලු දෙන සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි පෙනී සිටිය යුතු යි.</verse>
				<verse number="18">“නුඹ මට පූජා කරන යාග පූජාවේ ලේ, මුහුන් රොටි සමඟ ඔප්පු නොකළ යුතුයි. තවද, මට පූජා කරන යාග පූජාවේ තෙල ද උදය දක්වා ඉතිරි නොකළ යුතු ය.</verse>
				<verse number="19">“නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මාගේ ගෘහයට නුඹේ ඉඩම්වලින් හොඳ ම නාඹුල් පල ගෙනා යුතු ය. “එළු පැටවෙකු උගේ මවගේ කිරෙන් නොපිසිය යුතු ය.”</verse>
				<verse number="20">“බලන්න, මාර්ගයේ දී නුඹලා ආරක්ෂා කිරීමටත්, මා සූදානම් කළ ස්ථානයට නුඹලා ගෙන ඊමටත් නුඹලාට පෙරටුවෙන් මම දූතයෙකු යවන්නෙමි.</verse>
				<verse number="21">ඔහුට ගෞරව කරන්න, ඔහුගේ හඬට කීකරු වන්න. ඔහුට විරුද්ධ ව කැරලි නොගසන්න. මාගේ නාමයෙන් ඔහු ක්‍රියා කරන බැවින් ඔහු නුඹලාගේ වැරදි කමා නොකරන්නේ ය.</verse>
				<verse number="22">එහෙත්, නුඹලා ඔහුගේ හඬට කීකරු වී මා කියන සියල්ල කරන්නහු නම් මම නුඹලාගේ සතුරන්ට සතුරෙක් ද නුඹේ විරුද්ධවාදීන්ට විරුද්ධවාදියෙක් ද වන්නෙමි.</verse>
				<verse number="23">මාගේ දූතයා නුඹලාට පෙරටුව ගොස් අමෝරිවරුන්, හිත්තීවරුන්, පෙරිස්සිවරුන්, කානානිවරුන්, හිවීවරුන් හා ජෙබුසිවරුන් වෙතට නුඹලා පමුණුවන්නේ ය. මම ද ඔවුන් වනසාලමි.</verse>
				<verse number="24">නුඹලා ඔවුන්ගේ දෙවිවරුන්ට හිස නමා වැඳුම්පිදුම් නොකළ යුතු ය. ඔවුන් ක්‍රියා කරන ලෙස ක්‍රියා නොකළ යුතු ය. තවද, නුඹලා ඔවුන්ගේ රූප සහමුලින් ම වනසා, ඔවුන්ගේ ශිලාස්තම්භ කඩා බිඳදැමිය යුතු ය.</verse>
				<verse number="25">නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේට නුඹලා වැඳුම්පිදුම් කළ යුතු ය. මම ආහාර පාන දී නුඹලාට ආශීර්වාද කරමින්, නුඹලා අතරින් ලෙඩ රෝග දුරු කරමි.</verse>
				<verse number="26">නුඹලාගේ දේශයේ කිසි ම ස්ත්‍රියක ගබ්සා නොවනු ඇත; වඳ ස්ත්‍රියක නොවනු ඇත. මම නුඹලාට දිගු කලක් ජීවත් වීමට ඉඩ දෙමි.</verse>
				<verse number="27">“මම නුඹලාට පෙරටුව භීතිය හට ගන්වා, නුඹලාට මුණගැසෙන සියලු සෙනඟ වියවුල් කරවන්නෙමි, නුඹලාගේ සියලු සතුරන් නුඹලාට පිටුපා දුවන්නට සලසමි.</verse>
				<verse number="28">නුඹලා වෙතින් හිවීවරුන්, කානානිවරුන් හා හිත්තීවරුන් පන්නා දමන පිණිස නුඹලාට පෙරටුව මම දෙබරුන් යවන්නෙමි.</verse>
				<verse number="29">එක අවුරුද්දකින් මම ඔවුන් නුඹ වෙතින් පන්නා නොදමන්නෙමි. මන්ද, එසේ කළොත් රට පාළු වනු ඇත; වන මෘගයන් ද වැඩි වීමෙන් නුඹලාට අවාසි වනු ඇත.</verse>
				<verse number="30">නුඹලා වර්ධනය වී දේශය අයිති කරගන්නා තෙක් මම ටිකින් ටික නුඹලා වෙතින් ඔවුන් පන්නා දමන්නෙමි.</verse>
				<verse number="31">නුඹලාගේ දේශ සීමාවන් රතු මුහුදේ සිට මධ්‍යධරණි මුහුද දක්වා ද පාළුකරයේ සිට යුප්‍රටීස් ගඟ දක්වා ද විශාල කරන්නෙමි. එම දේශයේ වැසියන් නුඹලා අතට පාවා දෙන්නෙමි. නුඹලා ද නුඹලා වෙතින් ඔවුන් පන්නා දමන්නහු ය.</verse>
				<verse number="32">නුඹලා ද ඔවුන් සමඟ හෝ ඔවුන්ගේ දෙවිවරුන් සමඟ හෝ කිසි ගිවිසුමක් නොකළ යුතු ය.</verse>
				<verse number="33">මට විරුද්ධ ව පව් කිරීමට ඔවුන් නුඹලා නොපොළඹවන පිණිස නුඹලාගේ දේශයෙහි ඔවුන් පදිංචි නොවිය යුතු ය. නුඹලා ඔවුන්ගේ දෙවිවරුන්ට වැඳුම්පිදුම් කළොත් එය නුඹලාට මලපතක් වන්නේ ම ය.”</verse>
			</chapter>
			<chapter number="24">
				<verse number="1">තවද, උන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹ ද ආරොන් ද නාදාබ් ද අබිහු ද ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන්ගෙන් හැත්තෑදෙනෙකු ද සමිඳාණන් වහන්සේ වන මා වෙත කන්දට නැග, දුරින් සිට නමස්කාර කරන්න.</verse>
				<verse number="2">මෝසෙස් පමණක් මට ළං විය යුතු ය. සෙස්සෝ ළං නොවිය යුත්තාහ. සෙනඟ ද කන්දට නොනැංග යුතු ය”යි වදාළ සේක.</verse>
				<verse number="3">මෝසෙස් ද ඇවිත් සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග සෙනඟට දැන්වී ය. සියලු සෙනඟ ද එක හඬින් උත්තර දෙමින්, “සමිඳාණන් වහන්සේගේ ආඥා සියල්ල ම අපි ඉටු කරන්නෙමු”යි කී හ.</verse>
				<verse number="4">ඉන්පසු ඔහු උන් වහන්සේගේ ආඥා සියල්ල ම ලියා තැබී ය. පසු දින අලුයම ඔහු නැඟිට, කන්ද පාමුල පූජාසනයක් ද ඉශ්රායෙල් ගෝත්‍ර දොළොස අනුව ශිලාස්තම්භ දොළහක් ද ඉදි කෙළේ ය.</verse>
				<verse number="5">පසුව ඔහු ඉශ්රායෙල් ජනයා අතරෙන් තරුණයන් යැවී ය. ඔව්හු දවන යාග පූජා හා ගවයන් මරා, සහභාගිකමේ පූජා ද සමිඳාණන් වහන්සේට ඔප්පු කළහ.</verse>
				<verse number="6">මෝසෙස් සතුන්ගේ ලෙයින් දෙකෙන් කොටසක් ගෙන එය බඳුන්වල දැමී ය, ලෙයින් අඩක් පූජාසනය මත ඉස්සේ ය.</verse>
				<verse number="7">පසුව ඔහු ගිවිසුම් පොත රැගෙන සෙනඟට ඇසෙන ලෙස එය කියවී ය. ඔව්හු ද පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ වදාළ සියල්ල අපි ඉටු කරන්නෙමු”යි කී හ.</verse>
				<verse number="8">එවිට මෝසෙස් ලේ රැගෙන, සෙනඟ මත ඉසිමින්, “මෙය වනාහි සමිඳාණන් වහන්සේ මෙකී සියලු ආඥා ඔබට දෙමින්, ඔබ සමඟ කළ ගිවිසුම ස්ථිර කරන ලේ ය”යි පැවසී ය.</verse>
				<verse number="9">මෝසෙස්, ආරොන්, නාදාබ් සහ අබිහු ද ඉශ්රායෙල්වරුන් අතර මූලිකයන්ගෙන් හැත්තෑදෙනෙක් ද කන්දට නැඟ,</verse>
				<verse number="10">ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ දර්ශනය කළහ. උන් වහන්සේගේ සිරි පා යට නිල් අහස් තලයේ කාන්තිය බඳු නීල මාණික්‍යමය පදික වේදිකාවක් වැනි දෙයක් විය.</verse>
				<verse number="11">එහෙත්, උන් වහන්සේ ඉශ්රායෙල් ජනයා අතර මේ නායකයන්ට අනතුරක් නොකළ සේක. ඔව්හු උන් වහන්සේ දුටු පසු ආහාර පාන අනුභව කළහ.</verse>
				<verse number="12">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “කන්දට නැඟ මා වෙත පැමිණ මෙහි නැවතී සිටින්න. නුඹ සෙනඟට උගන්වන පිණිස මා ලියූ ආඥා හා අණපණත් අඩංගු ගල් පුවරු මම නුඹට දෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="13">මෝසෙස් නැඟිට තම සේවක ජෝෂුවා සමඟ ශුද්ධ කන්දට නැංගේ ය.</verse>
				<verse number="14">තවද, ඔහු ප්‍රජා මූලිකයන් අමතමින්, “අප යළි ඔබ වෙත පැමිණෙන තෙක් මෙහි බලා සිටින්න. මෙන්න, ආරොන් ද හූර් ද ඔබ සමඟ සිටිති. විසඳීමට ප්‍රශ්නයක් යමෙකුට ඇත්නම් ඔහු ඔවුන් වෙත යා යුතු ය”යි කීවේ ය.</verse>
				<verse number="15">මෝසෙස් ඉන්පසු කන්දට නැංගේ ය. වලාකුළ කන්ද වසාගත්තේ ය.</verse>
				<verse number="16">සීනයි කන්ද මත සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය රැඳී පැවතිණි. වලාකුළ ද දින හයක් එය වසාගති. හත් වන දින උන් වහන්සේ වලාකුළ මැදින් මෝසෙස්ට හඬගැසූ සේක.</verse>
				<verse number="17">ඉශ්රායෙල් ජනයාගේ ඇස් හමුවෙහි සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය ඇවිලෙමින් නඟින ගිනි ජාලාවක් මෙන් දිස් විය.</verse>
				<verse number="18">මෝසෙස් ද වලාකුළ මැදට ගොස් කන්දට නැංගේ ය. ඔහු දවල් හතළිහක් හා රාත්‍රි හතළිහක් කන්දෙහි සිටියේ ය.</verse>
			</chapter>
			<chapter number="25">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“මට පඬුරක් ගෙනෙන ලෙස ඉශ්රායෙල් ජනයාට කියන්න. සිය කැමැත්තෙන් ම දෙන සෑම දෙනාගෙන් ම නුඹ ඒ පඬුරු ගත යුතු ය.</verse>
				<verse number="3">ඔවුන්ගෙන් ගත යුතු පඬුරු නම් රන්, රිදී සහ ලෝකඩ ද,</verse>
				<verse number="4">නිල් පාට, දම් පාට සහ තද රතු පාට නූල් ද, සිහින් හණ රෙදි හා එළු ලොම් ද,</verse>
				<verse number="5">රතු සායම් පෙවූ බැටළු හම්, පදම් කළ හම් සහ ෂිටිම් යන ලී ද,</verse>
				<verse number="6">පහන්වලට තෙල් ද, ආලේප තෛලයට හා සුවඳ දුම් පූජාව සඳහා සුගන්ධ ද්‍රව්‍ය ද,</verse>
				<verse number="7">ඒපොද් නම් ශුද්ධ වස්ත්‍රය සහ ළය වැස්ම සඳහා නබමාණික්‍ය හා වෙනත් මැණික් ද යන මේවා ය.</verse>
				<verse number="8">තවද, නුඹලා අතර වාසය කිරීම පිණිස මට ඔවුන් ශුද්ධස්ථානයක් සෑදිය යුතු ය.</verse>
				<verse number="9">මා නුඹට පෙන්වන සැලැස්ම අනුව මණ්ඩපය ද එහි සියලු උපකරණ ද සෑදිය යුතු ය.”</verse>
				<verse number="10">“තවද, ඔවුන් ෂිටිම් ලීයෙන් සෙන්ටිමීටර් එකසිය දහයක් දිග, සෙන්ටිමීටර් හැටහයක් පළල, සෙන්ටිමීටර් හැටහයක් උස කරඬුව සෑදිය යුතු ය.</verse>
				<verse number="11">එහි ඇතුළත ද පිටත ද තනි රත්රනින් ආලේප කොට, එය වටා රන් ලීස්තරයක් සෑදිය යුතුයි.</verse>
				<verse number="12">තවද, එය සඳහා රන් වළලු හතරක් වාත්තු කොට, එක පැත්තකට වළලු දෙකක් ද අනික් පැත්තට වළලු දෙකක් ද බැගින් එහි කකුල් හතරේ ඒවා දැමිය යුතු ය.</verse>
				<verse number="13">ෂිටිම් ලීයෙන් පොලු සාදා ඒවා රනින් ආලේප කොට</verse>
				<verse number="14">කරඬුව උසුලාගෙන යන පිණිස එහි දෙපැත්තේ ඇති වළලු තුළට ඒ පොලු දැමිය යුතු ය.</verse>
				<verse number="15">කරඬුවේ වළලු තුළ ම පොලු තිබෙන්නට හැරිය යුතු ය. ඒවා එයින් ඉවත් නොකළ යුතු ය.</verse>
				<verse number="16">පසුව මා නුඹට දෙන සාක්ෂි ගල් පුවරු දෙක එම කරඬුවේ තැන්පත් කළ යුතු ය.</verse>
				<verse number="17">“තවද, නුඹ සෙන්ටිමීටර් එකසිය දහයක් දිග, සෙන්ටිමීටර් හැටහයක් පළල කරුණාසනයක් තනි රත්රනින් සෑදිය යුතු ය.</verse>
				<verse number="18">කරුණාසනයේ දෙකෙළවරෙහි රනින් තළා සෑදු කෙරුබ්වරුන් දෙදෙනෙකු වාත්තු කළ යුතු ය.</verse>
				<verse number="19">එක කෙළවරක එක කෙරුබ්වරයෙක් ද අනික් කෙළවරේ අනික් කෙරුබ්වරයා ද සිටින සේ කරුණාසනය සමඟ එකක් වන සේ ඔවුන් සවිකර එහි දෙකෙළවරෙහි තැබිය යුතු ය.</verse>
				<verse number="20">කෙරුබ්වරුන්ගේ පියාපත් ද උඩට විහිදී කරුණාසනයට ඉහළින් එය වසා සිටින සේ තිබිය යුතු ය. ඔවුන් එකිනෙකා මුහුණට මුහුණ ලා බලා සිටින්නාක් මෙන්, කරුණාසනය දෙසට ඔවුන්ගේ මුහුණු ද හරවා තිබිය යුතු ය.</verse>
				<verse number="21">තවද, නුඹ කරඬුව මත කරුණාසනය තබා, කරඬුව තුළ, මා නුඹට දෙන සාක්ෂි ගල් පුවරු දෙක තැන්පත් කළ යුතු ය.</verse>
				<verse number="22">මම ද එහි දී නුඹ හමුවෙමි. කරුණාසනයට ඉහළින් ගිවිසුම් කරඬුව මත සිටින කෙරුබ්වරුන් දෙදෙන මැදින්, ඉශ්රායෙල් ජනයා සඳහා සියලු ආඥා මම නුඹට දන්වන්නෙමි.”</verse>
				<verse number="23">“තවද, ෂිටිම් ලීයෙන්, සෙන්ටිමීටර් අසූඅටක් දිග, සෙන්ටිමීටර් හතළිස්හතරක් පළල, සෙන්ටිමීටර් හැටහයක් උස මේසයක් සෑදිය යුතු ය.</verse>
				<verse number="24">එය තනි රත්රනින් ආලේප කොට එය වටේට රන් ලීස්තරයක් සෑදිය යුතු ය.</verse>
				<verse number="25">තවද, එය වටේට මිලිමීටර් හැත්තෑපහක් පළල ඇති පටියක් සවි කොට, එය වටා රන් ලීස්තරයක් සෑදිය යුතු වේ.</verse>
				<verse number="26">රන් වළලු සතරක් ද සාදා මේසයේ කකුල් සතරේ කොන් සතරෙහි ඒවා දැමිය යුතු ය.</verse>
				<verse number="27">මේසය උසුලාගෙන යෑම සඳහා පොලු දමන වළලු, පටිය ළඟ ම තිබිය යුතු යි.</verse>
				<verse number="28">පොලු ද ෂිටිම් ලීයෙන් සාදා, රනින් ආලේප කළ යුතු ය. මේසය මේවායේ ආධාරයෙන් උසුලාගෙන යා යුතු ය.</verse>
				<verse number="29">එහි තබන තැටි ද කුසලාන ද කෙණ්ඩි ද පානීය පූජා දැමීමට ගන්න පාත්‍ර ද තනි රත්රනින් සෑදිය යුතු ය.</verse>
				<verse number="30">තවද, නුඹ නිතර ම පිදුම් රොටි මා ඉදිරියෙහි මේසය උඩ තැබිය යුතු වේ.”</verse>
				<verse number="31">“තවද, නුඹ තනි රත්රන් පහන් රුකක් සෑදිය යුතු ය. එහි අඩිය ද කඳ ද තැළූ රනින් තැනිය යුතු වේ. එහි මල් ද මල් කැකුළු ද මල් පෙති ද ඊට පෑස්සු එක වස්තුවක් විය යුතු ය.</verse>
				<verse number="32">පහන් රුකේ එක පැත්තක අතු තුනක් ද අනික් පැත්තේ අතු තුනක් ද බැගින් එහි පැතිවලින් අතු හයක් විහිදී යා යුතු ය.</verse>
				<verse number="33">එක් අත්තක කොට්ටම්බා වැනි මල් තුනක් ද මල් කැකුළු හා මල් පෙති ද අනික් පැත්තේ කොට්ටම්බා වැනි මල් තුනක් ද මල් කැකුළු හා මල් පෙති ද බැගින් පහන් රුකින් විහිදෙන අතු හයේ ම එලෙස ම විය යුතු ය.</verse>
				<verse number="34">පහන් රුකෙහි ද කොට්ටම්බා වැනි මල් හතරක් ද ඒවායේ මල් කැකුළු හා මල් පෙති ද විය යුතු ය.</verse>
				<verse number="35">පහන් රුකෙහි අතු දෙකක් යට එක මල් කැකුළක් ද තවත් අතු දෙකක් යට එක මල් කැකුළක් ද අනික් අතු දෙක යට මල් කැකුළක් ද බැගින් ඉන් විහිදී යන අතු හයේ ම එසේ විය යුතු ය.</verse>
				<verse number="36">මල් කැකුළු සහ අතු පහන් රුක සමඟ ඒකාබද්ධ ව තිබිය යුතු යි. සියල්ල ම තැළූ තනි රනින් කළ කර්මාන්තයක් විය යුතු ය.</verse>
				<verse number="37">“නුඹ ද පහන් රුක සඳහා පහන් හතක් සාදා, ඒවායේ එළිය ඉදිරියට වැටෙන සේ පහන්වල ආලෝකය සකස් කළ යුතු ය.</verse>
				<verse number="38">පහන් කතුරු ද ඒවායේ තැටි ද රනින් විය යුතු ය.</verse>
				<verse number="39">පහන් රුක සහ සියලු බඳුන් තැනීම සඳහා තනි රන් කිලෝග්‍රෑම් තිස්පහක් පාවිච්චි කළ යුතු ය.</verse>
				<verse number="40">කන්දේ දී නුඹට පෙන්වූ සැලැස්ම අනුව මේවා සෑදීමට වග බලාගත යුතු ය.”</verse>
			</chapter>
			<chapter number="26">
				<verse number="1">“තවද, නුඹ නිල් පාට, දම් පාට සහ තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණ පිළියෙන් ද කළ තිර දහයකින් මණ්ඩපය සෑදිය යුතු වේ. ඒවායේ කෙරුබ්වරුන්ගේ රූප ගෙත්තම් කොට තිබිය යුතු වේ.</verse>
				<verse number="2">එක තිරයක දිග මීටර් දොළහක් ද පළල මීටර් දෙකක් ද විය යුතු යි. ඒ තිර සියල්ල ම එක ප්‍රමාණයට තිබිය යුතු වේ.</verse>
				<verse number="3">තිර පහක්, එකටෙක සම්බන්ධ කළ යුතු ය. අනිත් තිර පහ ද එසේ ම ය.</verse>
				<verse number="4">මෙසේ සම්බන්ධ කළ තිරවල අන්තිම තිරයේ එක වාටියක නිල් පාට පිළියෙන් ගාංචු සෑදිය යුතු ය. අනික් තිරවල අන්තිම තිරයේ ද එලෙස කළ යුතු වේ.</verse>
				<verse number="5">පළමු තිරයේ ගාංචු පණහක් සෑදිය යුතු අතර, දෙවනුව යා කළ තිරවල වාටියේ ද පළමු වැන්නේ ගාංචු හා එකිනෙකට මුහුණ ලා තිබෙන අයුරින් ගාංචු පණහක් සෑදිය යුතු යි.</verse>
				<verse number="6">තවද නුඹ රන් කොකු පණහක් සාදා, එක මණ්ඩපයක් වන පරිදි ඒ කොකුවලින් තිර එකටෙක සම්බන්ධ කළ යුතු වේ.</verse>
				<verse number="7">“මණ්ඩපයට උඩින් කූඩාරමක් වන පිණිස එළු ලොම්වලින් තිර එකොළහක් සෑදිය යුතු ය.</verse>
				<verse number="8">එක තිරයක දිග මීටර් දහතුනක් ද පළල මීටර් දෙකක් ද විය යුතු අතර, තිර එකොළහ ම එක ප්‍රමාණ විය යුතු වේ.</verse>
				<verse number="9">තිර පහක් හා තිර හයක් වෙන වෙන ම එකටෙක සම්බන්ධ කොට, හය වන තිරය දෙකට නමා මණ්ඩපයේ ඉස්සරහ කොටසේ එල්ලා වැටෙන්නට සැලැස්විය යුතු ය.</verse>
				<verse number="10">සම්බන්ධ කළ තිර පහේ අන්තිම තිරයේ වාටියේ ගාංචු පණහක් ද අනික් තිරවල අන්තිම තිරයේ වාටියේ ගාංචු පණහක් ද සෑදිය යුතු ය.</verse>
				<verse number="11">පසුව ලෝකඩ කොකු පණහක් සාදා ඒ කොකු ගාංචුවලට අමුණා, මණ්ඩපය එකක් වන සේ එකට සම්බන්ධ කළ යුතු යි.</verse>
				<verse number="12">මණ්ඩපයේ තිරවලින් වැඩි මනත් ව ඉතිරි වන තිර බාගය, මණ්ඩපයේ පිටුපසින් එල්ලී තිබිය යුතු ය.</verse>
				<verse number="13">මණ්ඩපයේ තිරවල දිගින් දෙපැත්තේ ඉතිරි වන සෙස්සෙන්, එක පැත්තකින් සෙන්ටිමීටර් පණහක් ද අනික් පැත්තෙන් සෙන්ටිමීටර් පණහක් ද මණ්ඩපය වැසෙන පිණිස එල්ලෙන්නට හැරිය යුතු ය.</verse>
				<verse number="14">තවද, මණ්ඩපයට රතු සායම් පෙවූ බැටළු හම්වලින් ආවරණයක් ද එය උඩ අතුරන පිණිස සියුම් හම්වලින් ආවරණයක් ද සෑදිය යුතු වේ.</verse>
				<verse number="15">“තවද, මණ්ඩපය සඳහා ෂිටිම් ලීවලින් ලෑලි ඉරා, ඒවා කෙළින් සිටුවිය යුතු ය.</verse>
				<verse number="16">එක ලෑල්ලක දිග මීටර් හතරක් ද පළල සෙන්ටිමීටර් හැටහයක් ද විය යුතු වේ.</verse>
				<verse number="17">එක ලෑල්ලකට ඒවා එකටෙක යා කිරීම පිණිස, කුඩිම්බි දෙකක් තිබිය යුතු ය. මණ්ඩපයේ සෑම ලෑල්ලක් ම මෙසේ සකස් කළ යුතු වේ.</verse>
				<verse number="18">මණ්ඩපයට ලෑලි ඉරා සාදන විට, දකුණු දිශාවට මූණ ලා එහි දකුණු පැත්තට ලෑලි විස්සක් සෑදිය යුතු ය.</verse>
				<verse number="19">පළමු වන ලෑල්ලේ කුඩිම්බි දෙක දැමීමට තවු දෙකක් ද, දෙ වන ලෑල්ලේ කුඩිම්බි දෙක දැමීමට තවු දෙකක් ද බැගින් ලෑලි විස්ස යට රිදී තවු හතළිහක් සෑදිය යුතු වේ.</verse>
				<verse number="20">මණ්ඩපයේ උතුරු දිශාවට ඇති අනික් පැත්තට ද ලෑලි විස්සක් සෑදිය යුතු අතර,</verse>
				<verse number="21">එක එක ලෑල්ල යට තවු දෙක බැගින් ඒවාට රිදී තවු හතළිහක් සෑදිය යුතු වේ.</verse>
				<verse number="22">බටහිර දිශාවට ඇති මණ්ඩපයේ පිටුපසට ලෑලි හයක් සෑදිය යුතු ය.</verse>
				<verse number="23">මණ්ඩපයේ පිටුපස කොන්වලට ලෑලි දෙකක් ද සෑදිය යුතු අතර,</verse>
				<verse number="24">මේ ලෑලි ඒවායේ පහත කොටස්වල සිට මුදුනේ පළමු වන වළල්ල දක්වා යා කළ යුතු ය. කොන් දෙකේ තබන ලෑලි දෙකට ද එලෙස කළ යුතු ය.</verse>
				<verse number="25">මෙසේ එක එක ලෑල්ලට තවු දෙක බැගින් රිදී තවු දහසයක් සහිත ලෑලි අටක් ඇති වේ.</verse>
				<verse number="26">“තවද, මණ්ඩපයේ එක පැත්තක තිබෙන ලෑලිවලට ෂිටිම් ලීවලින් හරස් පොලු පහක් ද සෑදිය යුතු යි.</verse>
				<verse number="27">මණ්ඩපයේ අනික් පැත්තේ ලෑලිවලට තව හරස් පොලු පහක් ද මණ්ඩපයේ පිටුපස, එනම්, බටහිර අංශයේ ලෑලිවලට හරස් පොලු පහක් ද සෑදිය යුතු යි.</verse>
				<verse number="28">ලෑලිවල මැදින් හරස් ලීය එක කොනක සිට අනික් කොන දක්වා දිගට ම තිබිය යුතු වේ.</verse>
				<verse number="29">තවද, ලෑලි රනින් ආලේප කොට හරස් ලී දැමීමට රන් මුදු සාදා හරස් ලී ද රනින් ආලේප කළ යුතු ය.</verse>
				<verse number="30">මෙසේ කන්දේ දී නුඹට පෙන්වූ සැලැස්ම අනුව මණ්ඩපය ඉදි කළ යුතු වේ.”</verse>
				<verse number="31">“නුඹ නිල් පාට, දම් පාට හා තද රතු පාට ලොම්වලින් හා සිහින් ව කටින ලද හණ පිළියෙන් තිරයක් සෑදිය යුතු ය. එහි ද කෙරුබ්වරුන්ගේ රූප ගෙත්තම් කොට තිබිය යුතු වේ.</verse>
				<verse number="32">පසුව එය, රිදී තවු හතරක් සවි කළ රන් කොකු සතරක් ඇති, රන් ආලේප කළ, ෂිටිම් කණු සතරක එල්ලිය යුතු ය.</verse>
				<verse number="33">තිරය කොකුවලට යටින් එල්ලා, තිරයට පිටුපස ගිවිසුම් කරඬුව තැබිය යුතු වේ. මෙලෙස තිරය, ශුද්ධස්ථානය, අතිශුද්ධස්ථානයෙන් වෙන් කරනු ඇත.</verse>
				<verse number="34">තවද, අතිශුද්ධස්ථානයේ ඇති ගිවිසුම් කරඬුව උඩ කරුණාසනය තැබිය යුතු යි.</verse>
				<verse number="35">තිරයට පිටතින් මේසය ද උතුරු පැත්තට තබා ඇති මේ මේසයට මූණ ලා මණ්ඩපයේ දකුණු පැත්තට පහන් රුක ද තැබිය යුතු ය.</verse>
				<verse number="36">මණ්ඩපයේ දොරටුවට නිල් පාට, දම් පාට සහ තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද මල්වැඩ දැමූ කඩතුරාවක් සෑදිය යුතු යි.</verse>
				<verse number="37">මේ කඩතුරාව සඳහා ෂිටිම් ලීවලින් කණු පහක් ගෙන ඒවා රනින් ආලේප කළ යුතු යි. ඒවාට රන් කොකු තිබිය යුතු අතර ඒවා සවි කිරීමට ලෝකඩයෙන් තවු පහක් ද වාත්තු කළ යුතු වේ.”</verse>
			</chapter>
			<chapter number="27">
				<verse number="1">“ෂිටිම් ලීවලින් මීටර් දෙකයි දශම දෙකක් දිග, මීටර් දෙකයි දශම දෙකක් පළල, මීටර් එකයි දශම තුනක් උස, හතරැස් පූජාසනයක් සෑදිය යුතු යි.</verse>
				<verse number="2">එය සමඟ ඒකාබද්ධ ව සිටින සේ එහි කොන් හතරේ අං හතරක් සාදා ඒවා ලෝකඩයෙන් වැසිය යුතු යි.</verse>
				<verse number="3">තවද, එහි තෙල් සහිත අළු දැමීමට බඳුන් හා හැඳි ද තලි ද අඬු ද ගිනිකබල් ද සෑදිය යුතු වේ. මේ උපකරණ සියල්ල ම ලෝකඩයෙන් නිර්මාණය කළ යුතු ය.</verse>
				<verse number="4">ඊට දැලක අයුරින් ලෝකඩ මැස්සක් සාදා, එහි හතර කොන්හි ලෝකඩ වළලු හතරක් දැමිය යුතු ය.</verse>
				<verse number="5">එය ද පූජාසනයේ පහළ සිට පූජාසනයේ මැද හරියට වෙන තෙක්, පූජාසනයේ ගැටිය යට තැබිය යුතු යි.</verse>
				<verse number="6">පූජාසනයට ෂිටිම් ලීයෙන් පොලු සාදා ඒවා ලෝකඩයෙන් වැසිය යුතු අතර,</verse>
				<verse number="7">පූජාසනය උසුලාගෙන යන විට එහි දෙපැත්තේ තිබෙන පිණිස ඒවා වළලු තුළින් දැමිය යුතු වේ.</verse>
				<verse number="8">පූජාසනය තුළ කුහරයක් ඇති වන සේ එය ලෑලිවලින් සෑදිය යුතු යි. නුඹට කන්දේ දී පෙන්නූ ප්‍රකාර නුඹ ඒවා තැනිය යුතු වේ.”</verse>
				<verse number="9">“නුඹ මණ්ඩපය සඳහා මළුව ද තැනිය යුතු යි. දකුණු දෙසට මූණ ලා, මළුවේ දකුණු පැත්තට, එක පැත්තක් මීටර් හතළිස්හතරක් දිග, සිහින් ව කටින ලද හණ පිළියෙන් තිර සෑදිය යුතු යි.</verse>
				<verse number="10">ඒවායේ කුළුණු සහ තවු විස්සක් ලෝකඩයෙන් ද කණුවල වළලු සහ පොලු රිදියෙන් ද විය යුතු ය.</verse>
				<verse number="11">එලෙස ම මණ්ඩපයේ උතුරු පැත්තට මීටර් හතළිස්හතරක් දිග තිර සකස් කළ යුතු ය. ඒවායේ කණු විස්ස හා තවු විස්ස ලෝකඩයෙන් ද කණුවල වළලු සහ පොලු රිදියෙන් ද විය යුතු ය.</verse>
				<verse number="12">මණ්ඩපයේ බටහිර පැත්තට මීටර් විසිදෙකක් පළල තිර ද ඒවාට කණු දහයක් හා තවු දහයක් ද සෑදිය යුතු ය.</verse>
				<verse number="13">නැගෙනහිර දෙසටත් මළුවේ පළල මීටර් විසිදෙකක් විය යුතු ය.</verse>
				<verse number="14">දොරටුව සඳහා එක පැත්තකට මීටර් හයයි දශම හයක් වූ තිර ද ඒවාට කණු තුනක් හා තවු තුනක් ද සෑදිය යුතු වේ.</verse>
				<verse number="15">අනික් පැත්තටත් මීටර් හයයි දශම හයක් වූ තිර ද ඒවාට කණු තුනක් හා තවු තුනක් ද සෑදිය යුතු ය.</verse>
				<verse number="16">තවද, දොරටුව සඳහා නිල් පාට, දම් පාට, ලා රතු සහ තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද වැඩදමා ගෙතූ, මීටර් නවයක් දිග තිරයක් විය යුතු ය. ඊට කණු හතරක් හා තවු හතරක් ද තිබිය යුතු ය.</verse>
				<verse number="17">මළුව වටේට ඇති කණු සියල්ල ම රිදී පොලුවලින් යා කළ යුතු ය. ඒවායේ වළලු රිදීයෙන් ද තවු ලෝකඩයෙන් ද තැනිය යුතු ය.</verse>
				<verse number="18">මළුවේ දිග මීටර් හතළිස්හතරක් ද පළල මීටර් විසිදෙකක් ද උස මීටර් දෙකයි දශම දෙකක් ද විය යුතු ය. එහි තිර සිහින් ව කටින ලද හණවලින් ද ඒවායේ තවු ලෝකඩයෙන් ද සෑදිය යුතු වේ.</verse>
				<verse number="19">මණ්ඩපයේ සියලු සේවාවලට භාවිතා කරන සියලු උපකරණ ද මණ්ඩපයේත්, මළුවේත් ඇති කූඤ්ඤ සියල්ල ද ලෝකඩයෙන් විය යුතු ය.”</verse>
				<verse number="20">“පහන නිතර ම දැල්වෙමින් පවතින පිණිස, පහනට පිරිසිදු ඔලීව තෙල් ගෙනෙන්නට නුඹ ඉශ්රායෙල් ජනයාට අණ කළ යුතු ය.</verse>
				<verse number="21">තිරයට පිටතින් ගිවිසුම් කරඬුව ඉදිරිපිට සම්මුඛ මණ්ඩපයෙහි, උදය පටන් සවස දක්වා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දැල්වෙන පිණිස ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්, මේ පහන තැබිය යුතු වේ. මෙය ඉශ්රායෙල් ජනයා හා ඔවුන්ගේ පෙළපත් සදහට ම පිළිපැදිය යුතු නියෝගයක් වන්නේ ය.”</verse>
			</chapter>
			<chapter number="28">
				<verse number="1">“මට පූජක නිලයෙහි සේවය කරන පිණිස ඉශ්රායෙල් ජනයා අතරින් නුඹේ සහෝදරයා වන ආරොන් ද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන් වන නාදාබ් සහ අබිහු ද එලෙයාසර් සහ ඊතාමාර් ද කැඳවන්න.</verse>
				<verse number="2">නුඹේ සහෝදරයා වන ආරොන් සඳහා ගරුත්වය හා අලංකාරය ගෙන දෙන ශුද්ධ වස්ත්‍ර සෑදිය යුතු ය.</verse>
				<verse number="3">ආරොන් මට පූජක සේවය කරන පිණිස ඔහු කැප කිරීමට අවශ්‍ය වස්ත්‍ර සෑදීමට මා විසින් විශේෂ හැකියාවකින් පූර්ණ කොට තිබෙන, සියලු දක්ෂ ශිල්පීන් හට නුඹ අණ කළ යුතු ය.</verse>
				<verse number="4">ඔවුන් සෑදිය යුතු වස්ත්‍ර නම්: ළය වැස්ම, ඒපොද් නම් සැට්ටය, ලෝගුව, මල් වැඩ දැමූ කබාය, මකුටය සහ බඳපටිය වේ. නුඹේ සහෝදර ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් මට පූජක සේවය කරන පිණිස ඔවුන්ට ශුද්ධ වස්ත්‍ර සෑදිය යුතු යි.</verse>
				<verse number="5">මේ සඳහා රත්රන් ද, නිල්, දම් සහ තද රතු පාට නූල් ද සිහින් හණ ද ශිල්පීන් පාවිච්චි කළ යුතු ය.”</verse>
				<verse number="6">“ඒපොද් නම් සැට්ටය, රනින් ද නිල්, දම්, තද රතු පාට නූල්වලින් ද වැඩ දමා විසිතුරු කර සිහින් ව කටින ලද හණවලින් සෑදිය යුතු ය.</verse>
				<verse number="7">එහි දෙකෙළවරේ සම්බන්ධ කරන උර පටි දෙක සවි කළ යුතු ය.</verse>
				<verse number="8">එහි මනා සේ ගොතන ලද බඳපටිය ද සැට්ටය සමඟ එකට සම්බන්ධ ව, එය මෙන් ම රනින් ද නිල්, දම්, තද රතු පාට නූල්වලින් හා සිහින් ව කටින ලද හණවලින් ද සෑදූ එකක් විය යුතු ය.</verse>
				<verse number="9">තවද, නුඹ නඛමාණික්‍ය දෙකක් ගෙන ඉශ්රායෙල් ජනයාගේ නාම ඒවායේ කැටයම් කළ යුතු වේ.</verse>
				<verse number="10">ඔවුන් උපන් පිළිවෙළ අනුව නම් හයක් එක ගලක ද අනික් නම් හය අනිත් ගලේ ද විය යුතු යි.</verse>
				<verse number="11">මැණික්කරුවෙකුගේ දස්කම් පාමින්, මුද්‍රා කෙටීම මෙන් ඉශ්රායෙල් ජනයාගේ නාම ගල් දෙකේ කැටයම් කොට, ඒවා රන් කෙවෙණිවල බැඳිය යුතු ය.</verse>
				<verse number="12">ඉශ්රායෙල් ජනයා සිහි කිරීමේ ගල් මෙන්, ඒ ගල් දෙක ඒපොද් නම් සැට්ටයේ උර පටියේ ඔබ්බා තැබිය යුතු ය. මෙලෙස ආරොන් සමිඳාණන් වහන්සේ ඉදිරියට තම උරහිස් දෙක මත සිහිවීමක් මෙන් ඔවුන්ගේ නාම උසුලාගෙන යනු ඇත.</verse>
				<verse number="13">නුඹ රන් කෙවෙණි දෙකක් ද</verse>
				<verse number="14">ගෙතූ රන් මාල දෙකක් ද සාදා කෙවෙණි දෙකට ගෙතූ මාල සම්බන්ධ කළ යුතු ය.</verse>
				<verse number="15">“තවද, ඒපොද් නම් සැට්ටයේ කලාවට සම වන පරිදි විනිශ්චයේ ළය වැස්ම ද ගෙත්තම් කොට සෑදිය යුතු ය. එය රනින් ද නිල්, දම් සහ තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද සෑදිය යුතු ය.</verse>
				<verse number="16">එය හතරැස් ව දෙපටක් විය යුතු අතර, එහි දිග සෙන්ටිමීටර් විසිදෙකක් ද පළල සෙන්ටිමීටර් විසිදෙකක් ද විය යුතු ය.</verse>
				<verse number="17">එය පිට මැණික් ගල් පේළි හතරක් බැඳිය යුතු ය. පළමු වන පේළිය ලෝහිතංකයක් ද පුෂ්පරාගයක් ද මරකතයක් ද</verse>
				<verse number="18">දෙ වන පේළිය පච්ච මාණික්‍යයක් ද නීල මාණික්‍යයක් ද වජ්‍රයක් ද</verse>
				<verse number="19">තෙ වන පේළිය පද්මරාගයක් ද වර්ණකාන්තියක් ද අඹතෙස් ගලක් ද</verse>
				<verse number="20">සතර වන පේළිය රන් කාන්තියක් ද නබමාණික්‍ය ද සූර්යකාන්තියක් ද විය යුතු ය. ඒවා ද රන් කෙවෙණි වල බහා තිබිය යුතු ය.</verse>
				<verse number="21">ඒ ගල්වල ඉශ්රායෙල් ජනයාගේ නම් තිබිය යුතු වේ. මෙලෙස නම් ඇති ගල් දොළහේ, මුද්‍රා කැටයම් මෙන්, එක් එක් ගලක ගෝත්‍ර දොළහේ නම් එක එක බැගින් තිබිය යුතු ය.</verse>
				<verse number="22">ළය වැස්ම සඳහා ද තනි රනින් එකට ගෙතූ මාල සෑදිය යුතු යි.</verse>
				<verse number="23">ළය වැස්මට රන් මුදු දෙකක් සාදා ඒ රන් මුදු දෙක ළය වැස්මේ දෙකෙළවරේ දැමිය යුතු යි.</verse>
				<verse number="24">ගෙතූ රන් මාල දෙක ළය වැස්මේ දෙකෙළවරේ ඇති මුදු දෙකේ ඇමිණිය යුතු වේ.</verse>
				<verse number="25">ගෙතූ මාල දෙකේ අනිත් දෙකෙළවර ද රන් කෙවෙණි දෙකට අමුණා, ඒවා ඒපොද් සැට්ටයේ උර පටි පිට ඉස්සරහින් තැබිය යුතු යි.</verse>
				<verse number="26">රන් වළලු දෙකක් ද සාදා, ළය වැස්මේ පහත වාටියේ දෙකෙළවරේ ඒපොද් සැට්ටය දෙසට වන පරිදි ඒවා ඇතුළු පැත්තෙන් සවි කළ යුතු ය.</verse>
				<verse number="27">තවත් රන් වළලු දෙකක් සාදා, ඒපොද් සැට්ටයට යටින් දෙපැත්තේ උර පටි දෙක පිට, මූට්ටුව ළඟ ගෙත්තම් කළ බඳපටියට උඩින් දැමිය යුතු ය.</verse>
				<verse number="28">ළය වැස්ම ඒපොද් සැට්ටයේ වළලුවලට නිල් පැහැති පටියකින් බැන්ද පිණිසත්, එය ඒපොද් සැට්ටයෙන් බුරුල් නොවී පවතින පිණිසත් එහි වළලු ඒපොද් සැට්ටයේ වළලුවලට නිල් පැහැති පටියකින් බැන්ද යුතු ය.</verse>
				<verse number="29">ආරොන් ද ශුද්ධස්ථානයට ඇතුළු වන විට, සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි නිතර පවතින සිහි වීමක් වන පිණිස තම ළය මත ඇති විනිශ්චයේ ළය වැස්මෙහි ඉශ්රායෙල් ජනයාගේ නාම දැරිය යුතු ය.</verse>
				<verse number="30">විනිශ්චයේ ළය වැස්මෙහි උරිම් සහ තුම්මිම් යන පස ඇට දැමිය යුතු වේ. මෙලෙස ආරොන් සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියට පැමිණෙන විට ඒවා ඔහුගේ ළය මත තිබෙනු ඇත. ඔහු ද සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි නිතර ම ඉශ්රායෙල් ජනයා විනිශ්චය කිරීමේ උපකරණ තම ළය මත දැරිය යුතු වේ.”</verse>
				<verse number="31">“ඒපොද් සැට්ටයේ සළුව සම්පූර්ණයෙන් ම නිල් පාටින් සෑදිය යුතු ය.</verse>
				<verse number="32">එහි මැද හිස දැමීමට සිදුරක් තිබිය යුතු අතර මේ සිදුර නොඉරෙන පිණිස, හම් කබායක සිදුර මෙන් එය වට වියන ලද වාටියක් තිබිය යුතු යි.</verse>
				<verse number="33">එහි පහළ මුළු වාටිය දිගේ ම, නිල්, දම් සහ තද රතු පැහැති දෙළුම් ගෙඩි ද ඒවා අතරතුර වටේට ම රනින් කළ මිණි ගෙඩි ද සෑදිය යුතු ය.</verse>
				<verse number="34">මෙසේ සළුවේ වාටිය දිගේ ම රන් මිණි ගෙඩියක් හා දෙළුම් ගෙඩියක් ද බැගින් මාරුවෙන් මාරුවට ඇති වේ.</verse>
				<verse number="35">ආරොන් පූජක සේවය ඉටු කරන කල එය පැළඳිය යුතු ය. මෙලෙස ඔහු ශුද්ධස්ථානයෙහි සමිඳුන් වන මා ඉදිරියට පැමිණෙන විට ද එයින් පිටත එන විට ද කිංකිණි නාදය ඇසෙනු ඇත; ඔහු ද නොමැරෙන්නේ ය.”</verse>
				<verse number="36">“නුඹ තනි රනින් තහඩුවක් සාදා, එය මත මුද්‍රා කැටයමක් මෙන් ‘සමිඳාණන් වහන්සේට කැප ය’ යන වචන කැටයම් කළ යුතු අතර</verse>
				<verse number="37">නිල් පටියකින් එය මකුටයේ ඉදිරිපසට වෙළිය යුතු යි.</verse>
				<verse number="38">එය ආරොන්ගේ නළල මත විය යුතු වේ. මෙලෙස ඉශ්රායෙල් ජනයා මට කැප කරන ශුද්ධ පඬුරුවල යම් අඩුපාඩුවක් තිබේ නම්, ඒවා ගැන ඔහු වග කියනු ඇත. පුද පඬුරු සමිඳාණන් වහන්සේ වන මට ප්‍රසන්න වන පිණිස, ආරොන් නිතර ම එය තම නළල මත පැළඳිය යුතු යි.”</verse>
				<verse number="39">“සිහින් හණ නූලින් සැදි කබාය ගෙත්තම් කොට, මකුටය ද සිහින් හණ නූලින් සාදා, බඳපටිය ද ගෙත්තම් කොට සෑදිය යුතු ය.</verse>
				<verse number="40">“ආරොන්ගේ පුත්‍රයන්ට ද ගරුත්වය හා අලංකාරය ගෙන දෙන කබා ද බඳපටි ද ශිරස්ක ද සෑදිය යුතු ය.</verse>
				<verse number="41">මේ ඇඳුම් නුඹේ සහෝදර ආරොන්ට හා ඔහුගේ පුත්‍රයන්ට පළඳවා, ඔවුන් පූජක පදවියේ මට ආවතේව කරන පිණිස, ඔවුන් ආලේප කොට, ඔවුන්ට පූජකවරය දී ඔවුන් කැප කළ යුතු ය.</verse>
				<verse number="42">ඔවුන්ගේ නග්නභාවය වසන පිණිස හණ නූලින් ඉඟ සිට කලවය දක්වා කලිසම් සෑදිය යුතු යි.</verse>
				<verse number="43">ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් මරණයට හේතු වන අපරාධයකට පත් නොවන පිණිස, සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට හෝ ශුද්ධස්ථානයේ පූජාසනයට පූජක සේවා කිරීමට ළඟා වන විට හෝ ඒවා ඇඳගෙන සිටිය යුතු ය. මෙය ඔහුටත්, ඔහුගෙන් පසු ඔහුගේ පෙළපතටත් සදහට ම වලංගු නියෝගයකි.”</verse>
			</chapter>
			<chapter number="29">
				<verse number="1">“ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පූජක පදවියෙහි මට සේවා කිරීමට කැප කිරීමේ දී නුඹ පිළිපැදිය යුතු පිළිවෙත මෙය වේ. කැළලක් නැති ගව නාම්බෙකු ද බැටළුවන් දෙදෙනෙකු ද ගන්න.</verse>
				<verse number="2">නුමුහුන් රොටි ද තෙලින් බදින ලද හා තෙල් ගාන ලද නුමුහුන් රොටි ද ගන්න. මේවා සිහින් තිරිඟු පිටියෙන් සෑදිය යුතු වේ.</verse>
				<verse number="3">නුඹ ඒවා එක පැසක දමා, ඒ පැස ද ගව නාම්බා සහ බැටළුවන් දෙන්නා ද ගෙනා යුතු ය.</verse>
				<verse number="4">“ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ද සම්මුඛ මණ්ඩපයේ දොරටුව ළඟට ගෙනවුත්, ඔවුන්ට ස්නානය කිරීමට සලසන්න.</verse>
				<verse number="5">ඉන්පසු නුඹ වස්ත්‍ර ගෙන, ආරොන්ට කබාය ද ඒපොද් සැට්ටයේ සළුව ද ඒපොද් සැට්ටය ද ළය වැස්ම ද පළඳවා, ඒපොද් සැට්ටයේ ගෙත්තම් කළ බඳපටිය ඔහුගේ ඉණ වටා දැමිය යුතු ය.</verse>
				<verse number="6">ඔහුගේ සිරස මත මකුටය ද එය මත ශුද්ධ කිරීටය ද පැළඳවිය යුතු ය.</verse>
				<verse number="7">පසුව ආලේප තෛලය ගෙන ඔහුගේ සිරස මත වත් කරමින්, ඔහු ආලේප කළ යුතු වේ.</verse>
				<verse number="8">“ඉන්පසු ඔහුගේ පුත්‍රයන් ද කැඳවා ඔවුන්ට කබා හඳවා,</verse>
				<verse number="9">බඳපටි ඉණ වටා සවි කොට, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් මත හිස් වැසුම් සවි කරන්න. මෙසේ කිරීමෙන් සදහට ම වලංගු නියෝගයක් ලෙස පූජක නිල පදවිය ඔවුන්ගේ වන්නේ ය. මේ අයුරින් නුඹ ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට පූජකවරය දිය යුතු ය.”</verse>
				<verse number="10">“නුඹ සම්මුඛ මණ්ඩපය ඉදිරිපිටට ගව නාම්බා ගෙනා පසු ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් උගේ හිස මත ඔවුන්ගේ අත් තැබිය යුතු ය.</verse>
				<verse number="11">සම්මුඛ මණ්ඩපයේ දොරටුව ළඟ සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි නුඹ ඌ මැරිය යුතු ය.</verse>
				<verse number="12">පසුව, උගේ ලේ ගෙන, නුඹ ඇඟිල්ලෙන් එය පූජාසනයේ අං මත තවරා, ඉතුරු ලේ සියල්ල පූජාසනයේ පාමුල ළඟ වත් කළ යුතු යි.</verse>
				<verse number="13">අතුණු වසා ඇති තෙල ද අක්මාව පිට ඇති තෙල් පිඬ ද වකුගඩු දෙක හා එහි ඇති තෙල ද ගෙන පූජාසනය මත පිළිස්සිය යුතු ය.</verse>
				<verse number="14">එහෙත්, ගව නාම්බාගේ මස් ද උගේ හම හා ගොම ද කඳවුරින් පිටත ගින්නෙන් පිළිස්සිය යුතු ය. එය පාප නසන පූජාවකි.</verse>
				<verse number="15">“නුඹ එක බැටළුවෙකු ගෙනා පසු ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් උගේ හිස මත ඔවුන්ගේ අත් තැබිය යුතු ය.</verse>
				<verse number="16">පසුව ඌ මරා, උගේ ලේ ගෙන පූජාසනයේ සෑම පැත්තට ම ඉසිය යුතු ය.</verse>
				<verse number="17">ඉන්පසු ඌ කැබලි කොට, උගේ අතුණු සහ කකුල් සෝදා, ඒවා උගේ මස් කැබලි ද හිස ද සමඟ තැබිය යුතු ය.</verse>
				<verse number="18">මෙසේ කළ පසු බැටළුවා මුළුමනින් ම පූජාසනය මත පිළිස්සිය යුතු වේ. එය මට පුද කරන දවන යාග පූජාවකි. ගින්නෙන් දැවූ, එය සමිඳාණන් වහන්සේ වන මා වෙත නඟින සුමිහිරි පූජාවකි.</verse>
				<verse number="19">“නුඹ අනික් බැටළුවා ද ගෙනා පසු ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් උගේ හිස මත ඔවුන්ගේ අත් තැබිය යුතු ය.</verse>
				<verse number="20">ඉන්පසු ඌ මරා උගේ ලේ ගෙන ආරොන්ගේ දකුණු කන් පෙත්තෙහි ද ඔහුගේ පුත්‍රයන්ගේ දකුණු කන් පෙතිවල ද ඔවුන්ගේ දකුණත්වල මාපට ඇඟිලිවල ද දකුණු පාදවල මාපට ඇඟිලිවල ද තවරා, ඉතිරි ලේ පූජාසනයේ හැම පැත්තට ම ඉසිය යුතු ය.</verse>
				<verse number="21">පසුව පූජාසනය මත ඇති ලෙයින් ටිකක් ද ආලේප තෛලයෙන් ටිකක් ද ගෙන ආරොන් මත ද ඔහුගේ වස්ත්‍ර මත ද ඔහුගේ පුත්‍රයන් මත ද ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍ර මත ද ඉසිය යුතු ය. මෙලෙස ඔහු ද ඔහුගේ වස්ත්‍ර ද ඔහුගේ පුත්‍රයන් හා ඔවුන්ගේ වස්ත්‍ර ද ඔහු සමඟ කැප වනු ඇත.</verse>
				<verse number="22">“තවද, බැටළුවාගේ තෙල් ද එනම්, තෙල් සහිත වල්ගය ද අතුණු වසා ඇති තෙල ද අක්මාව පිට ඇති සිවිය ද වකුගඩු දෙක ද ඒවායේ තෙල ද දකුණු ගාතය ද ගත යුතු ය. මන්ද, ඒ බැටළුවා කැප කරන ලද්දෙකි.</verse>
				<verse number="23">තවද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නුමුහුන් රොටි ඇති පැසෙන් රොටියක් ද තෙලින් බැදි රොටියක් ද තුනී රොටි පෙත්තක් ද ගෙන,</verse>
				<verse number="24">මේ ආහාර සියල්ල ආරොන් හා ඔහුගේ පුතුන්ගේ අත්වල තබා, සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත කරවා, ඒවා පුද කිරීමට සැලැස්විය යුතු ය.</verse>
				<verse number="25">ඉන්පසු නුඹ ඔවුන්ගේ අත්වලින් ඒවා ගෙන පූජාසනයේ දවන යාග පූජාවක් මත සමිඳාණන් වහන්සේ වන මට සුවඳැති පූජාවක් මෙන් එය පිළිස්සිය යුතු ය. එය සමිඳාණන් වහන්සේ වන මා වෙත නඟින ගින්නෙන් දැවූ පූජාවකි.</verse>
				<verse number="26">නුඹ ද ආරොන්ට පූජකවරය දීම සඳහා ගත් බැටළුවාගේ ළපැත්ත ගෙන සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත කරමින් එය පුද කළ යුතු වේ. එය ඔබට හිමි කොටස වන්නේ ය.</verse>
				<verse number="27">ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට පූජකවරය දීම සඳහා ගත් බැටළුවාගේ ළපැත්ත ද පුදන ලද උගේ ගාතය ද ගෙන, පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කරමින් නුඹ ඒවා කැප කළ යුතු ය.</verse>
				<verse number="28">සදහට ම වලංගු නියෝගයක් ලෙස, ඉශ්රායෙල් ජනයාගෙන් ගත යුතු, ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට හිමි කොටස එය වනු ඇත. එය වෙන් කරන ලද කොටසකි: ඉශ්රායෙල් ජනයා තමන්ගේ සහභාගි වීමේ පූජාවල දී වෙන් කළ කොටසකි. එය ඔවුන් සමිඳාණන් වහන්සේ වන මට පුද කරන විශේෂ පූජාව වනු ඇත.</verse>
				<verse number="29">“ආරොන්ගේ ශුද්ධ වස්ත්‍ර, ඔහුගෙන් පසු ඔහුගේ පුත්‍රයන්ට හිමි වනු ඇත. ඔවුන් ඒවා පැළඳ ආලේපනය හා පූජකවරය ලැබිය යුතු යි.</verse>
				<verse number="30">ආරොන්ගේ පුත්‍රයන් අතරින්, ඔහුගේ පූජක පදවියට පත් වන තැනැත්තා ශුද්ධස්ථානයේ සේවා කිරීම සඳහා සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට සත් දවසක් මේ වස්ත්‍ර පැළඳිය යුතු ය.”</verse>
				<verse number="31">“පූජකවරය දීම සඳහා පුද කළ බැටළුවා ගෙන, පවිත්‍ර ස්ථානයක උගේ මාංසය පිසිය යුතු ය.</verse>
				<verse number="32">සම්මුඛ මණ්ඩපයේ දොරටුව ළඟ ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ද බැටළුවාගේ මස් සහ පැසේ ඇති රොටි වැළඳිය යුතු ය.</verse>
				<verse number="33">ඔවුන් පූජකවරය ලැබීමේ දී හා ඔවුන් කැප කිරීමේ දී, ඔවුන්ගේ පාපවලට කමාව ලබාගැනීම සඳහා ගත් දේවල් ද ඔවුන් වැළඳිය යුතු ය. එහෙත්, ඒවා ශුද්ධ බැවින්, ඔවුන් හැර වෙන කිසිවෙකු ඒවා නොවැළඳිය යුතු ය.</verse>
				<verse number="34">පූජකවරය දීමේ දී ගත් මස්වලින් හා රොටිවලින් කිසිවක් උදය දක්වා ඉතිරි වුවහොත්, එය ගින්නෙන් පිළිස්සිය යුතු වේ. ඒවා ශුද්ධ බැවින් නොවැළඳිය යුතු වේ.</verse>
				<verse number="35">“මා නුඹට අණ කළ සියල්ල ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට ඉටු කළ යුතු ය. දවස් හතක් තුළ නුඹ ඔවුන්ට පූජකවරය දීමේ පිළිවෙත ඉටු කළ යුතු යි.</verse>
				<verse number="36">නුඹ දිනපතා ම පාප සඳහා ඒවාට සමාව ලබාගැනීම පිණිස ගව නාම්බෙකු බැගින් පූජා කළ යුතු ය. පව් කමාව සඳහා යාගයක් ඔප්පු කිරීමෙන් නුඹ පූජාසනයේ පාප දුරු කරන්නෙහි ය. ඉන්පසු එය විශුද්ධ කිරීම සඳහා ආලේප කළ යුතු ය.</verse>
				<verse number="37">දවස් හතක් ම නුඹ පූජාසනයේ පව් දුරලීමේ වත්පිළිවෙත් කොට එය විශුද්ධ කළ යුතු යි. එවිට එය අතිශුද්ධ පූජාසනය වනු ඇත. එය ස්පර්ශ කරන සෑම කෙනෙකු ම ශුද්ධ වනු ඇත.”</verse>
				<verse number="38">“පූජාසනය මත නුඹ දිනපතා ම, නොකඩවා පූජා කළ යුතු පඬුරු නම්, අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දෙදෙනෙකි.</verse>
				<verse number="39">උදයට එකෙකු ද අනිකා සවසට ද පූජා කළ යුතු ය.</verse>
				<verse number="40">එක බැටළු පැටවෙකු සමඟ පිරිසිදු තෙල් ලීටර් එකක් සමඟ ඇනූ සිහින් පිටි කිලෝග්‍රෑම් එකක් ද පානීය පූජාවක් සඳහා මිදිරස ලීටර් එකක් ද ඔප්පු කළ යුතු ය.</verse>
				<verse number="41">තවද, සමිඳාණන් වහන්සේ වන මා වෙත නඟින, ගින්නෙන් දැවූ සුමිහිරි පූජාවක් වනු පිණිස, අනික් බැටළුවා ද සවස් කාලයේ දී, උදය ඔප්පු කළ පරිදි ධාන්‍ය පූජාවක් හා පානීය පූජාවක් සමඟ ඔප්පු කළ යුතු ය.</verse>
				<verse number="42">මෙය සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි සම්මුඛ මණ්ඩපයේ දොරටුව අසල, නුඹේ සෑම පෙළපතක් මඟින් ම නොකඩවා ඔප්පු කළ යුතු දවන යාග පූජාවක් විය යුතු ය. එහි දී මම නුඹලා හමු වෙමි; නුඹලා සමඟ කතා කරමි.</verse>
				<verse number="43">එහි දී මම ඉශ්රායෙල් ජනයා හමු වෙමි. එම ස්ථානය ද මාගේ මහිමයෙන් විශුද්ධ කරනු ලැබේ.</verse>
				<verse number="44">මම සම්මුඛ මණ්ඩපය හා පූජාසනය විශුද්ධ කරමි. ආරොන් සහ ඔහුගේ පුතුන් මට පූජක පදවියෙහි සේවය කරනු පිණිස විශුද්ධ කරමි.</verse>
				<verse number="45">මම ඉශ්රායෙල් ජනයා අතර වාසය කරමින් ඔවුන්ගේ දෙවියන් වහන්සේ වෙමි.</verse>
				<verse number="46">ඔව්හු ද තමන් අතර වාසය කරන පිණිස මිසර දේශයෙන් පිටතට ගෙනා ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මා බව දැනගන්නෝ ය. මම ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.”</verse>
			</chapter>
			<chapter number="30">
				<verse number="1">“නුඹ සුවඳ දුම් ඔප්පු කිරීමට ෂිටිම් ලීයෙන් පූජාසනයක් තනන්න.</verse>
				<verse number="2">එහි දිග සෙන්ටිමීටර් හතළිස්පහක් ද පළල සෙන්ටිමීටර් හතළිස්පහක් ද උස සෙන්ටිමීටර් අනූවක් ද ඇති ව, හතරැස් ව එය සෑදිය යුතු යි. එහි අං එය සමඟ ඒකකයක් විය යුතු ය.</verse>
				<verse number="3">එහි මුදුන ද හතර පැත්ත ද අං ද රනින් ආලේප කළ යුතු අතර එය වටේට රන් ලීස්තරයක් ද සෑදිය යුතු ය.</verse>
				<verse number="4">එහි ලීස්තරය යට, දෙපැත්තේ කොන් දෙකට කිට්ටු ව රන් වළලු දෙකක් ද සවි කළ යුතු ය. පූජාසනය උසුලාගෙන යෑම පිණිස ගන්න පොලුවල ඒවා දමනු ඇත.</verse>
				<verse number="5">ඒ පොලු ද ෂිටිම් ලීයෙන් සාදා රනින් ආලේප කළ යුතු ය.</verse>
				<verse number="6">ගිවිසුම් කරඬුව වසා තිබෙන කරුණාසනයට ඉස්සරහින්, එනම්, ගිවිසුම් කරඬුව ඉදිරියට ඇති තිරය ඉස්සරහින්, එය තැබිය යුතු ය. මා නුඹ හමු වන්නේ එම ස්ථානයේ ය.</verse>
				<verse number="7">දිනපතා උදය ආරොන් පහන් පිළියෙළ කොට, ඔහු එහි සුවඳ ද්‍රව්‍ය දැවිය යුතු ය.</verse>
				<verse number="8">සවස ඔහු පහන් දල්වන විට ද සුවඳ ද්‍රව්‍ය දැවිය යුතු ය. නුඹේ සෑම පෙළපතක් මඟින් ම එය නොකඩවා ඉටු කළ යුතු සුවඳ දුම් පූජාවක් විය යුතු ය.</verse>
				<verse number="9">තවද, එය මත තහනම් වූ සුවඳ ද්‍රව්‍යයන් හෝ දවන යාග පූජාවක් වත්, ධාන්‍ය පූජාවක් හෝ පානීය පූජාවක් වත් ඔප්පු නොකළ යුතු ය.</verse>
				<verse number="10">අවුරුද්දකට වරක් ආරොන් එහි අං පිට පව් කමාව ලබාගැනීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. අවුරුද්දකට වරක් පාප කමාව ලබන පූජාවේ ලේ ගෙන, පූජාසනය මත පව් කමාව ලැබීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. එය නුඹේ සෑම පෙළපතක් මඟින් ම ඉටු කළ යුතු ය. එය සමිඳාණන් වහන්සේ වන මට කැප වූ අතිශුද්ධ පූජාසනයකි.”</verse>
				<verse number="11">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, මෙසේ වදාළ සේක:</verse>
				<verse number="12">“නුඹ ජන ලේඛනයක් සඳහා ඉශ්රායෙල් ජනයා සංගණනය කරන විට, සංගණනය කරන අවස්ථාවේ දී ඔවුන් අතර වංසගතයක් නොපැමිණෙන පිණිස සෑම කෙනෙකු ම තම තමා වෙනුවෙන් මට මිදීමේ මුදලක් ගෙවිය යුතු ය.</verse>
				<verse number="13">සංගණනයට ඇතුළු වෙන සෑම කෙනෙක් ම ශුද්ධස්ථානයේ මිල අනුව නියම මිල දිය යුතු ය. සමිඳාණන් වහන්සේ වන මට පුදන පඬුර එය විය යුතු ය.</verse>
				<verse number="14">සංගණනයට ඇතුළත් වන සෑම කෙනෙක් ම එනම් අවුරුදු විස්සක් හා ඊට වැඩි වයසැති අය, මට පඬුරක් දිය යුතු වේ.</verse>
				<verse number="15">නුඹ ඔවුන් වෙනුවට මිදීම ලබාගැනීමේ මුදලක් වශයෙන් තම පඬුර සමිඳාණන් වහන්සේ වන මට පුදන කල ධනවතා නියම මිලට වැඩියෙන් හෝ දුප්පතා ඊට අඩුවෙන් හෝ නොදිය යුතු ය.</verse>
				<verse number="16">නුඹ ද ඉශ්රායෙල් ජනයා උදෙසා මිදීම ලබාගැනීමේ මුදල් රැගෙන, සම්මුඛ මණ්ඩපයේ සේවාවන් සඳහා එය වැය කළ යුතු ය. එය සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි ඉශ්රායෙල් ජනයා සිහිවීමක් ද නුඹලා වෙනුවට පව් කමාවේ මුදලක් ද වනු ඇත.”</verse>
				<verse number="17">සමිඳාණන් වහන්සේ නැවතත් මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="18">“පවිත්‍ර වීම පිණිස නුඹ ලෝකඩයෙන් භාජනයක් ද, ලෝකඩයෙන් එහි අඩිය ද සාදන්න. එය සම්මුඛ මණ්ඩපය සහ පූජාසනය අතර තබා ඊට වතුර දැමිය යුතු යි.</verse>
				<verse number="19">ආරොන් සහ ඔහුගේ පුතුන් තමන්ගේ අත් පා එයින් සේදිය යුතු ය.</verse>
				<verse number="20">ඔවුන් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට හෝ ගින්නෙන් දැවූ දවන පඬුර සමිඳාණන් වහන්සේට ඔප්පු කරමින්, සේවා කිරීම සඳහා පූජාසනය ළඟට කිට්ටු වන විට හෝ ඔව්හු වතුරින් තමන් සෝදාගන්නෝ නම් මරණයට පත් නො වන්නෝ ය.</verse>
				<verse number="21">මෙලෙස ඔවුන් නොමැරෙන පිණිස තමන්ගේ අත් පා සෝදාගත යුතු ය. මෙය ඔහු කෙරෙහි ද, ඔහුගේ පෙළපතින් පැවතෙන සියල්ලන් කෙරෙහි ද සදහට ම වලංගු නියෝගයකි.”</verse>
				<verse number="22">සමිඳාණන් වහන්සේ යළි මෝසෙස් අමතා මෙසේ වදාළ සේක:</verse>
				<verse number="23">“කිලෝග්‍රෑම් හයක දියාරු ගන්ධ රස ද ඉන් බාගයක් වන කිලෝග්‍රෑම් තුනක සුවඳ කුරුඳු ද කිලෝග්‍රෑම් තුනක සුවඳ උක්ගස් ද</verse>
				<verse number="24">ශුද්ධස්ථානයේ මිල අනුව කිලෝග්‍රෑම් හයක තලිස් පතුරු ද යන අගනා සුවඳ ද්‍රව්‍ය ද ඔලීව තෙල් ලීටර් හතරක් ද ඔබ ගත යුතු ය.</verse>
				<verse number="25">ඉන්පසු සුවඳ ද්‍රව්‍ය සංයෝගකරුවෙකු කරන්නාක් මෙන්, ඒවායින් ආලේපනය සඳහා ශුද්ධ තෛලයක් වන තෙල් සංයෝගයක් සෑදිය යුතු ය. එය ආලේප කරනු පිණිස ශුද්ධ තෛලයක් වනු ඇත.</verse>
				<verse number="26">එයින් සම්මුඛ මණ්ඩපය හා ගිවිසුම් කරඬුව ද</verse>
				<verse number="27">මේසය හා එහි උපකරණ ද පහන් රුක හා එහි උපකරණ ද සුවඳ දුම් පූජාසනය ද</verse>
				<verse number="28">දවන යාග පිදීමේ පූජාසනය හා එහි උපකරණ ද වතුර භාජනය හා එහි අඩිය ද ආලේප කළ යුතු ය.</verse>
				<verse number="29">මෙසේ ඒවා ශුද්ධ වන පිණිස කැප කළ යුතු ය. ඒවා ස්පර්ශ වන සෑම දෙයක් ද ශුද්ධ වනු ඇත.</verse>
				<verse number="30">ඉන්පසු නුඹ ආරොන් සහ ඔහුගේ පුතුන් ආලේප කොට ඔවුන් මට පූජක පදවියේ සේවා කරන පිණිස ඔවුන්ට පූජකවරය ප්‍රදානය කළ යුතු ය.</verse>
				<verse number="31">ඉන්පසු නුඹ ඉශ්රායෙල් ජනයා අමතා, ‘ඔබේ පෙළපත් මේ ආලේප තෛලය ශුද්ධ දෙයක් හැටියට සැලකිය යුතු ය.</verse>
				<verse number="32">මනුෂ්‍ය ශරීරය පිට එය වත් නොකළ යුතු ය. එකී සංයෝගය මෙන් අන් කිසිවක් ද නොසෑදිය යුතු ය. එය ශුද්ධ ය. එය ඔබට ශුද්ධ දෙයක් විය යුතු ය.</verse>
				<verse number="33">යමෙක් ඊට සමාන අන් සංයෝගයක් සාදන්නේ ද යමෙක් ඉන් මඳක් පූජකයෙකු නොවන්නකු මත දමන්නේ ද ඔහු තම සෙනඟගෙන් නෙරපාදැමිය යුතු ය’ කියා අණ කරන්න.”</verse>
				<verse number="34">නැවතත් සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹ සුවඳ ද්‍රව්‍ය වන නාතාප් සහ ෂෙබෙලෙක් ද බෙල්බෙනා සහ පිරිසිදු තුවරලා ද සම බරට ගෙන,</verse>
				<verse number="35">සුවඳ ද්‍රව්‍ය සංයෝගකරුවෙකු කරන්නාක් මෙන්, ඒවා ලුණෙන් පදම් කොට ශුද්ධ සුගන්ධයක් සෑදිය යුතු ය.</verse>
				<verse number="36">තවද, නුඹ එයින් කොටසක් සුණු කොට, ඉනුත්, කොටසක් මා නුඹ හමු වන සම්මුඛ මණ්ඩපයේ ගිවිසුම් කරඬුව ඉදිරිපිට ඉසිය යුතු ය. නුඹ මෙය අතිශුද්ධ දෙයක් ලෙස සැලකිය යුතු ය.</verse>
				<verse number="37">නුඹේ ප්‍රයෝජනය සඳහා මේ සුගන්ධ සංයෝගයට සමාන අනෙකක් නොසෑදිය යුතු ය. එය සමිඳාණන් වහන්සේ වන මට කැප වූ දෙයක් හැටියට නුඹ සැලකිය යුතු ය.</verse>
				<verse number="38">යමෙක් ඊට සමාන සුවඳැති අනෙකක් සාදන්නේ ද ඔහු සිය සෙනඟගෙන් නෙරපාදැමිය යුතු ය.”</verse>
			</chapter>
			<chapter number="31">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“බලන්න, මම ජුදාගේ ගෝත්‍රයේ හුර්ගේ පුත්‍රයා වන උරීගේ පුත් බෙශලෙල් තෝරා ගතිමි.</verse>
				<verse number="3">තවද, මම ඔහු දේවාත්මානුභාවයෙන් ද නන්වැදෑරුම් නිර්මාණ ශිල්පය පිළිබඳ දක්ෂතාවෙන් ද හැකියාවෙන් ද අවබෝධයෙන් ද පූර්ණ කෙළෙමි.</verse>
				<verse number="4">මා එසේ කෙළේ ඔහුට කලාත්මක සැලසුම් පිළියෙළ කිරීමටත්, රන් රිදී හා ලෝකඩයෙන් වැඩ කිරීමටත්</verse>
				<verse number="5">මැණික් ගල් කැපීමටත්, ඒවා එබ්බවීමටත්, ලීයෙන් කැටයම් වැඩ කිරීමටත්, නන්වැදෑරුම් නිර්මාණ ශිල්ප කිරීමටත් හැකි වනු පිණිස ය.</verse>
				<verse number="6">තවද, මම ඔහුගේ සහායට දාන්ගේ ගෝත්‍රයේ අභිසාමක්ගේ පුත්, ඔහොලියාබ් පත් කෙළෙමි. ඇරත් මා නුඹට අණ කළ සියල්ල ඔවුන් සාදන ලෙස දක්ෂ සියල්ලන්ට විශිෂ්ට හැකියාව දුන්නෙමි.</verse>
				<verse number="7">නුඹට සෑදීමට අණ කළ ඒවා නම් සම්මුඛ මණ්ඩපය, ගිවිසුම් කරඬුව, එය මත ඇති කරුණාසනය, මණ්ඩපයේ සියලු බඩු බාහිරාදිය,</verse>
				<verse number="8">මේසය සහ එහි බඩු බාහිරාදිය, ඝන රන් පහන් රුක හා එහි සියලු උපකරණ, දුම් පූජාසනය,</verse>
				<verse number="9">දවන යාග පූජාසනය හා එහි සියලු බඩු බාහිරාදිය, වතුර භාජනය සහ එහි අඩිය,</verse>
				<verse number="10">විචිත්‍ර වස්ත්‍ර වන පූජක නිලයේ සේවා කිරීම සඳහා පූජක ආරොන්ගේ ශුද්ධ වස්ත්‍ර සහ ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍ර,</verse>
				<verse number="11">ආලේප තෛලය සහ ශුද්ධස්ථානය සඳහා සුවඳ දුම් වේ. මා නුඹට අණ කළ සියල්ල අනුව ඒවා ඉටු කළ යුතු ය.”</verse>
				<verse number="12">නැවතත් සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්,</verse>
				<verse number="13">“නුඹ ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්නැ”යි වදාළ සේක: “මාගේ සබත් දවස් නුඹලා හොඳින් පිළිපැදිය යුතු යි. මන්ද, ඒවා වනාහි නුඹලා ශුද්ධවන්ත කරවන, සමිඳාණන් වහන්සේ මා බව නුඹලා දැනගනු පිණිස නුඹලාත්, මාත් අතර, නුඹලාගේ පෙළපත් තුළ පිහිටුවන ලද ලකුණකි.</verse>
				<verse number="14">එබැවින් නුඹලා සබත් දිනය පිළිපැදිය යුතු ය. එය නුඹලාට ශුද්ධ දිනයක් විය යුතු ය. එය කෙලෙසන සෑම කෙනෙක් මරණයට පත් කරනු ලැබිය යුතු වේ. තවද, එම දවසේ වැඩ කරන සෑම කෙනෙක් ම, සිය සෙනඟ අතරින් නෙරපාදමනු ලැබිය යුතු ය.</verse>
				<verse number="15">දවස් හයක් තුළ වැඩ කළ හැක, එහෙත් හත් වන දින, සමිඳාණන් වහන්සේ වන මට වෙන් කළ නිවාඩුවේ සබත් දිනය යි. සබත් දින වැඩ කරන සෑම කෙනෙක් ම මරණයට පත් කරනු ලැබිය යුතු වේ.</verse>
				<verse number="16">එබැවින් ඉශ්රායෙල් ජනයා තමන්ගේ පෙළපත් තුළ සදාතන ගිවිසුමක් හැටියට, සබත පවත්වමින් එය පිළිපැදිය යුතු ය.</verse>
				<verse number="17">එය මාත්, ඉශ්රායෙල් ජනයාත් අතර සදා පවතින ලකුණකි. මන්ද, සමිඳාණන් වහන්සේ වන මම දින හයක් තුළ අහස හා පොළොව ද සාදා, හත් වන දින වැඩ නවතා, නිවාඩු ගත්තෙමි’ කියා කියන්න.”</verse>
				<verse number="18">උන් වහන්සේ සීනයි කන්ද මත මෝසෙස් සමඟ කතා කොට නිම කළ පසු, දේව ඇඟිල්ලෙන් ලියන ලද ගල් පුවරු වන ගිවිසුම් පුවරු දෙක ඔහුට දුන් සේක.</verse>
			</chapter>
			<chapter number="32">
				<verse number="1">මෝසෙස් කන්දෙන් බැස ඒමට ප්‍රමාද වන බව සෙනඟ දුටු විට, ඔව්හු ආරොන් වට කර, රැස් වී ඔහුට කතා කොට, “එන්න, අපට පෙරටුව යන පිණිස දෙවියෙකු සාදා දෙන්න. මිසර දේශයෙන් අප පිටතට ගෙනා මේ මෝසෙස් කියන මිනිසාට කුමක් වූයේ ද කියා අපි නොදනිමු”යි කී හ.</verse>
				<verse number="2">ආරොන් ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබේ භාර්යාවන්ගේ ද දරුදැරියන්ගේ ද රන් කුණ්ඩලාභරණ ගලවා මා වෙත ගෙනෙන්නැ”යි කී ය.</verse>
				<verse number="3">සෙනඟ සියල්ලෝ තම තමන්ගේ කන්වල තිබූ රන් කුණ්ඩලාභරණ ගලවා ආරොන් වෙත ගෙනාහ.</verse>
				<verse number="4">ඔහු ඔවුන්ගේ අතින් ඒවා ගෙන, උණු කොට, අච්චුවක වත් කර, වස්සෙකුගේ රූපයක් වාත්තු කෙළේ ය. මේ දුටු සෙනඟ, “ඉශ්රායෙල් මේ අප මිසරයෙන් ගෙනාවා වූ අපගේ දෙවියන් වහන්සේ ය”යි කීවෝ ය.</verse>
				<verse number="5">ආරොන් එය ඉදිරියේ පූජාසනයක් ඉදි කොට, “හෙට, සමිඳාණන් වහන්සේගේ ගෞරවයට පවත්වන මංගල්‍යයකි” කියා ප්‍රසිද්ධ කෙළේ ය.</verse>
				<verse number="6">සෙනඟ ද පසු දින අලුයම නැඟිට, දවන යාග පූජා පුදා, සහභාගිකමේ පූජා ගෙනාහ. පසුව ඔව්හු කන්න බොන්න වාඩි වී විනෝදයට ලකලෑස්ති වූ හ.</verse>
				<verse number="7">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “යන්න, හනික කන්දෙන් බසින්න. නුඹ මිසර දේශයෙන් පිටතට ගෙනා නුඹේ සෙනඟ තමන් ම දූෂ්‍ය කරගෙන සිටිති.</verse>
				<verse number="8">මා ඔවුන්ට අණ කළ මාර්ගයෙන් ඔව්හු ඉක්මනින් බැහැර ගියහ. ඔව්හු වාත්තු කළ වස්සෙකු සාදාගෙන ඊට නමස්කාර කරමින් ද පුද පූජා කරමින් ද, ‘ඉශ්රායෙල්වරුනි, මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා ඔබේ දෙවියෝ මෙන්න’ කිය කියා සිටිති”යි වදාළ සේක.</verse>
				<verse number="9">තවදුරටත් උන් වහන්සේ මෝසෙස් අමතමින්, “මේ සෙනඟ මුරණ්ඩු සෙනඟක් බව මට පෙනේ.</verse>
				<verse number="10">දැන් ඉතින්, මාගේ කෝපාග්නිය ඔවුන්ට විරුද්ධ ව වේගවත් ව ඇවිලෙයි. මම ඔවුන් වනසාලන්නෙමි. එහෙත්, මම නුඹෙන් මහත් ජාතියක් සාදන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="11">එහෙත්, මෝසෙස් තම දෙවි සමිඳාණන් වහන්සේට කන්නලව් කරමින්, “ස්වාමීනි, ඔබ මහත් බලය පාමින් ද ඔබේ බාහු බලයෙන් ද මිසර දේශයෙන් පිටතට ගෙනා ඔබේ සෙනඟට විරුද්ධ ව ඔබේ උදහස වේගවත් ලෙස අවුළන්නේ මන් ද?</verse>
				<verse number="12">‘දෙවියන් වහන්සේ ඔවුන් පිටතට ගෙනාවේ දුෂ්ට අදහසකින්, කඳුකරයේ ඔවුන් මරාදමා, මිහි පිටින් ඔවුන් තුරන් කිරීමට ය’යි කීමට මිසර වාසීන්ට ඔබ ඉඩ තබන්නේ මන් ද? ඔබ මේ ඇවිලෙන කෝපාග්නිය නිවාගෙන ඔබේ සෙනඟට විරුද්ධ ව කරන්න යන මේ නපුර ගැන සිත වෙනස් කරගනු මැනව.</verse>
				<verse number="13">ඔබේ සේවකයන් වූ ආබ්‍රහම්, ඊසාක් සහ ඉශ්රායෙල් සිහි කළ මැනව. ඔබ ඔබේ නාමයෙන් ම දිවුරමින්, ‘අහසේ තරු මෙන් නුඹේ පෙළපත මම වර්ධනය කරන්නෙමි. නුඹට පොරොන්දු වූ මේ දේශය මම මුළුමනින් ම නුඹට දෙන්නෙමි. තවද ඔව්හු එය සදහට ම උරුම කරගන්නෝ ය’යි කියා ඔබ නොවදාළ සේක් දැ”යි විචාළේ ය.</verse>
				<verse number="14">එවිට සමිඳාණන් වහන්සේ තම සිත වෙනස් කොට සිය සෙනඟට කරන්න අදහස් කළ නපුර අත් හළ සේක.</verse>
				<verse number="15">මෝසෙස් හැරී කන්දෙන් බැස එන විට සාක්ෂි ගල් පුවරු දෙක තම අතේ විය. ගල් පුවරු දෙකේ, එක පැත්තක මෙන් ම අනික් පැත්තේ ද ලියා තිබිණි.</verse>
				<verse number="16">ඒ ගල් පුවරු දෙවියන් වහන්සේගේ නිර්මාණයක් විය. ඒවායේ කෙටූ ලියවිල්ල ද දෙවියන් වහන්සේගේ ම ලියවිල්ල විය.</verse>
				<verse number="17">සෙනඟගේ ඝෝෂාව ජෝෂුවාට ඇසුණු විට, ඔහු මෝසෙස් අමතා, “කඳවුරේ යුද්ධ ඝෝෂාවකි”යි කීවේ ය.</verse>
				<verse number="18">එහෙත් මෝසෙස් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “මට ඇසෙන ඒ හඬ, ජය ගොසක් නො ම වේ; පැරදුම් හඬක් ද නො ම වේ, එය ගී ගැයුමක් පමණක් වේ.”</verse>
				<verse number="19">ඔහු ද මෙසේ කියමින් කඳවුරට ළඟා වූ විට වස්සා ද සෙනඟගේ නැටුම් ද දිටී ය. ඔහුගේ කෝපාග්නිය ද එවිට වේගවත් ව ඇවිළී ගියෙන් ඔහු තම අත වූ ගල් පුවරු වීසි කොට, ඒවා කන්ද පාමුල බිඳ දැමී ය.</verse>
				<verse number="20">පසුව ඔහු ඔවුන් සෑදු වස්සා ගෙන, ගින්නෙන් පුළුස්සා, කුඩු කුඩු කොට, එය ජලය මත ඉස, ඒ ජලය ඉශ්රායෙල් ජනයාට බොන්නට සැලැස්විය.</verse>
				<verse number="21">මෝසෙස් ද ආරොන් අමතමින්, “මේ සෙනඟ ලවා මේ සා මහත් පාපයක් කරවීමට ඔවුන් ඔබට කුමක් කෙළේ දැ”යි විචාළේ ය.</verse>
				<verse number="22">ආරොන් පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීන්ගේ උදහස වේගවත් ව නොඇවිළේ වා! මේ සෙනඟ නපුරට කෙතරම් බර වී සිටින්නෝ දැ යි ඔබ දන්නෙහි ය.</verse>
				<verse number="23">ඔව්හු මට කතා කොට, ‘අපට පෙරටුව යෑමට දෙවියෙකු අපට සාදා දෙන්න. මිසර දේශයෙන් අප පිටතට ගෙනා ඒ මෝසෙස් නම් මිනිසාට කුමක් වූයේ දැ යි අපි නොදනිමු’යි කී හ.</verse>
				<verse number="24">මම ඔවුන්ට පිළිතුරු දෙමින්, ‘රන් බඩු යමක් ඇත්තේ දැ’යි ඇසූ විට ඔව්හු ද ඒවා ගලවා මට දුන්හ. මම ඒවා ගින්නට වීසි කෙළෙමි. එවිට මේ වස්සා නික්ම ආයේ ය”යි කී ය.</verse>
				<verse number="25">තවද, සෙනඟ වියරු වැටී දඟලන බව මෝසෙස් දිටී ය. මන්ද, සෙනඟ සතුරන් හමුවේ අවඥාවට පත් වන පිණිස ආරොන් ඔවුන්ට රූප වන්දනා කිරීමට ඉඩ හැර තිබිණි.</verse>
				<verse number="26">එවිට මෝසෙස් කඳවුරේ දොරටුව ළඟ සිටගෙන, “සමිඳාණන් වහන්සේගේ පැත්ත ගන්නෝ මා වෙතට පැමිණෙත් වා!”යි හඬගෑවේ ය. ලෙවීගේ සියලු පුත්‍රයෝ ඔහු වෙතට රැස් වූ හ.</verse>
				<verse number="27">මෝසෙස් ඔවුන් අමතමින්, “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, ‘සෑම කෙනෙකු ම තම කඩුව ගෙන දොරටුවෙන් දොරටුවට කඳවුර හරහා යමින්, තම සොහොයුරන් ද මිතුරන් ද අසල්වැසියන් ද මරාදමන්න’ කියා වදාරන සේකැ”යි පැවසී ය.</verse>
				<verse number="28">ලෙවීගේ පුත්‍රයෝ මෝසෙස් දුන් අණ පරිදි එය ඉටු කෙළෙන්, එදින සෙනඟ අතරින් තුන්දාහක් පමණ වැනසුණා හ.</verse>
				<verse number="29">මෝසෙස් ද කතා කොට, “ඔබෙන් එකිනෙකා තම තමාගේ පුත්‍රයා ද තම තමාගේ සහෝදරයා ද මරාදමමින් පූජකවරුන් මෙන් සමිඳාණන් වහන්සේට අද ඔබ ම කැප කරගත්තහු ය. එබැවින් අද දින සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාදයක් දානය කළ සේකැ”යි කී ය.</verse>
				<verse number="30">පසු දින මෝසෙස් සෙනඟ අමතමින්, “ඔබ දරුණු පාප අපරාධයක් කළහු ය. දැන් මම සමිඳාණන් වහන්සේ වෙත කන්දට නගිමි. ඇතැම් විට ඔබට පව් කමාව ලබා දෙන්න මට හැකි වන්නේ ය”යි කී ය.</verse>
				<verse number="31">ඔහු ද සමිඳාණන් වහන්සේ වෙත ආපසු ගොස්, “අහෝ, මේ සෙනඟ දරුණු අපරාධයක් කළෝ ය. ඔව්හු ඔවුන්ට ම රනින් දෙවියෙකු සාදගත්හ.</verse>
				<verse number="32">දැන් ඉතින් ඔවුන්ගේ පාපයට කමාව දුන මැනව; එසේ නොදෙන සේක් නම්, කරුණාකර ඔබ වහන්සේ පොතෙන් මාගේ නාමය මකාදමනු මැනව”යි ඉල්ලී ය.</verse>
				<verse number="33">සමිඳාණන් වහන්සේ ද මෝසෙස් අමතමින්, “මට විරුද්ධ ව යමෙක් පව් කෙළේ ද ඔහුගේ නම මාගේ පොතින් මම මකාදමමි.</verse>
				<verse number="34">එබැවින් දැන් යන්න, මා නුඹට කී ස්ථානයට සෙනඟ ගෙන යන්න. බලන්න, මාගේ දූතයා ද නුඹට පෙරටුව යනු ඇත. එහෙත්, මම, දඬුවම් දෙන දවසේ දී, ඔවුන්ගේ පාපයට දඬුවම් දෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="35">වස්සා සෑදීමට සෙනඟ ආරොන්ට බල කළ බැවින් සමිඳාණන් වහන්සේ ඔවුන් වෙත වසංගතයක් එවූ සේක.</verse>
			</chapter>
			<chapter number="33">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹත්, නුඹ මිසර දේශයෙන් පිටතට ගෙනා සෙනඟත් මෙම ස්ථානයෙන් නික්ම, ‘මම නුඹලාගේ පෙළපතට දෙමි’යි කියා ආබ්‍රහම්ට, ඊසාක්ට හා ජාකොබ්ට දිවුරා පොරොන්දු වූ දේශයට යන්න.</verse>
				<verse number="2">ඔබට පෙරටුව මම දූතයෙකු යවමි. තවද, මම කානානිවරුන්, අමෝරිවරුන්, හිත්තීවරුන්, පෙරිස්සිවරුන්, හිවීවරුන් සහ ජෙබුසිවරුන් පන්නාදමමි.</verse>
				<verse number="3">කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන දේශයට යන්න. එහෙත්, නුඹ සමඟ මම නොයමි. මන්ද, නුඹලා උඩඟු මුරණ්ඩු සෙනඟක් බැවින් මා අතරමඟ දී නුඹලා වනසාලන්නට පිළිවනැ”යි වදාළ සේක.</verse>
				<verse number="4">සෙනඟ ද මේ අසුබ ආරංචිය ඇසූ විට වැලපෙන්නට වූ හ. කිසිවෙක් තම කනකර පැළඳ නොගත්හ.</verse>
				<verse number="5">උන් වහන්සේ මෝසෙස් අමතා, “නුඹලා උඩඟු මුරණ්ඩු සෙනඟකි. මම මොහොතකට වත් නුඹලා අතරට පැමිණියොත් නුඹලා වනසාලමි. එබැවින් දැන් නුඹලාගේ කනකර ආභරණ ගලවා දමන්න. එවිට නුඹලාට කුමක් කළ යුතු ද කියා මම දන්නෙමි’යි ඉශ්රායෙල් ජනයාට කියන්නැ”යි වදාරා තිබිණි.</verse>
				<verse number="6">ඉශ්රායෙල් ජනයා ද හොරෙබ් කන්දේ සිට ඉදිරියට තම කනකර ආභරණ ගලවාගෙන ගියහ.</verse>
				<verse number="7">මෝසෙස් මණ්ඩපය රැගෙන කඳවුරෙන් පිටත, ඊට ඈතින් එය පිහිටුවීමට පුරුදු ව සිටියේ ය. ඔහු එයට සම්මුඛ මණ්ඩපය කියා නම් කෙළේ ය. සමිඳාණන් වහන්සේගේ උපදෙස් ලබාගැනීමට ඕනෑ වූ සෑම කෙනෙකු ම කඳවුරින් පිටත වූ සම්මුඛ මණ්ඩපයට යා යුතු විය.</verse>
				<verse number="8">තවද, මෝසෙස් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන පිණිස පිටතට ගිය කල, සියල්ලෝ ම නැඟිට තම තමන්ගේ කූඩාරම් දොරටු ළඟ සිටගෙන ඔහු සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන තෙක් ඔහු දෙස බලා සිටියහ.</verse>
				<verse number="9">මෝසෙස් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වූ විට ම වලා ටැඹ බැස, එහි දොරටුව ළඟ සිටගති. සමිඳාණන් වහන්සේ මෝසෙස් සමඟ කතා කළ සේක.</verse>
				<verse number="10">සියලු සෙනඟ සම්මුඛ මණ්ඩපයේ දොර ළඟ වූ වලා ටැඹ දුටු විට ඔව්හු නැඟිට තම තමන්ගේ කූඩාරම් දොරටු අසල සිටගෙන නමස්කාර කළහ.</verse>
				<verse number="11">යමෙකු තම මිතුරා හා සමඟ කතා කරනු මෙන් සමිඳාණන් වහන්සේ මෝසෙස් සමඟ මුහුණට මුහුණ ලා කතා කළ සේක. ඉන්පසු ඔහු කඳවුරට එන්නට ආපසු හැරුණ නමුත් ඔහුගේ තරුණ සේවක නූන්ගේ පුත්, ජෝෂුවා සම්මුඛ මණ්ඩපයෙන් නික්ම නොගියේ ය.</verse>
				<verse number="12">මෝසෙස් සමිඳාණන් වහන්සේ අමතා, “බැලුව මැනව, ‘මේ සෙනඟ ගෙන යන්නැ’යි ඔබ මට කියන නමුත් මා සමඟ යවන්නේ කවරෙක් ද කියා ඔබ මට නොදැන්වූ සේක. තවද, ‘මම නුඹ හොඳින් හඳුනමි. මා ඉදිරියෙහි නුඹ ද අනුග්‍රහය ලැබුවෙහි ය’යි කියා ඇත.</verse>
				<verse number="13">දැන් ඉතින් කරුණාකර, ඔබ ඉදිරියෙහි මම අනුග්‍රහය ලැබුවෙම් නම්, මා ඔබ හොඳින් දැනහැඳිනගෙන, ඔබේ අනුග්‍රහය නොකඩවා ලබන පරිදි ඔබේ සැලසුම් දැන් මට පෙන්වුව මැනව. මේ ජාතිය ද ඔබේ ම සෙනඟ බව සිහි කළ මැනව”යි කී ය.</verse>
				<verse number="14">උන් වහන්සේ කතා කොට, “මම නුඹ සමඟ ගොස්, නුඹට යෙහෙන් විසීමට ඉඩ දෙන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="15">එවිට ඔහු උන් වහන්සේ අමතමින්, “ඔබ අප සමඟ නොඑන සේක් නම්, මෙතැනින් නික්ම යාමට අපට ඉඩ නොහැරිය මැනව.</verse>
				<verse number="16">ඔබේ සෙනඟත්, මමත් ඔබ ඉදිරියෙහි අනුග්‍රහය ලැබූ බව අපි කෙසේ දැනගනිමු ද? එය අප දැනගන්නේ ඔබ අප සමඟ යෑමෙන් නො වේ ද? එවිට ඔබේ සෙනඟත්, මමත් මිහි පිට සිටින සියලු සෙනඟට වඩා වරප්‍රසාද ලත් අය වන්නෙමු”යි කීවේ ය.</verse>
				<verse number="17">උන් වහන්සේ ද මෝසෙස්ට පිළිතුරු දෙමින්, “නුඹ ඉල්ලන මේ දේ ද මම ඉටු කරමි. මන්ද, මා ඉදිරියෙහි නුඹ අනුග්‍රහය ලැබුවෙහි ය. මම නුඹ හොඳින් හඳුනමි”යි වදාළ සේක.</verse>
				<verse number="18">මෝසෙස් සමිඳාණන් වහන්සේට කතා කොට, “ඔබේ මහිමාලංකාරය කරුණාකර මට පෙන්නුව මැනව”යි ඉල්ලී ය.</verse>
				<verse number="19">උන් වහන්සේ එවිට පිළිතුරු දෙමින්, “මම මාගේ ශෝභනාලංකාරය නුඹට පෙරටුව යන්නට සලස්වමි. මම නුඹ ඉදිරියෙහි ‘සමිඳාණන් වහන්සේ’ වන මාගේ නාමය ප්‍රකාශ කරන්නෙමි. කරුණාව පෑමට මා කැමැති තැනැත්තාට මම කරුණාව පාමි, දයාව පෑමට කැමැති තැනැත්තාට මම දයාව පාමි”යි වදාළ සේක.</verse>
				<verse number="20">නැවතත් උන් වහන්සේ කතා කොට, “මාගේ මුහුණ දකින්න නුඹට නුපුළුවන, මනුෂ්‍යයකුට මා දැක ජීවත්විය නොහැකි ය”යි වදාළ සේක.</verse>
				<verse number="21">උන් වහන්සේ තවදුරටත් කතා කරමින්, “මා සමීපයෙහි පර්වතයක් ඇත. නුඹට එය මත සිටගත හැකි ය.</verse>
				<verse number="22">මාගේ මහිමාලංකාරය නුඹ පසු කර යන විට මම නුඹ කඳු විවරයක පිහිටුවා, නුඹ පසු කර යන තෙක්, මම නුඹ අතින් වසාලන්නෙමි.</verse>
				<verse number="23">මා අත ඉවතට ගත් විට, නුඹ මාගේ පිටුපස දකින්නෙහි ය. එහෙත්, මාගේ මුහුණ නුඹ නොදකිනු ඇතැ”යි වදාළ සේක.</verse>
			</chapter>
			<chapter number="34">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “පළමු ඒවාට සමාන ගල් පුවරු දෙකක් කපන්න. නුඹ බිඳ දැමූ පළමු ගල් පුවරුවල තිබූ වචන මම ඒවායේ ලියන්නෙමි.</verse>
				<verse number="2">හෙට අලුයම් වේලෙහි සූදානම් ව, සීනයි කන්දට නැඟ, කන්ද මුදුනෙහි මා ඉදිරියෙහි පෙනී සිටින්න.</verse>
				<verse number="3">කිසි මනුෂ්‍යයෙකු නුඹ සමඟ උඩට නො ආ යුතු ය. කන්දේ කිසි තැනක කිසි මනුෂ්‍යයෙකු දක්නා නොලැබිය යුතුයි. එළු බැටළු පට්ටි හෝ ගව පට්ටි කිසිවක් හෝ කන්ද ඉදිරියෙහි තණ නො කෑ යුතු ය”යි වදාළ සේක.</verse>
				<verse number="4">සමිඳාණන් වහන්සේ ඔහුට වදාළ පරිදි මෝසෙස් පළමු ඒවාට සමාන ගල් පුවරු දෙකක් කපා අලුයමින් නැඟිට සීනයි කන්දට නැංගේ ය; ගල් පුවරු දෙක ද තම අතේ ගෙන ගියේ ය.</verse>
				<verse number="5">සමිඳාණන් වහන්සේ ද වලාකුළක ආකාරයෙන් බැස, එහි ඔහු සමඟ සිටගෙන, ‘සමිඳාණන් වහන්සේ’ යන ස්වකීය නාමය ප්‍රකාශ කළ සේක.</verse>
				<verse number="6">උන් වහන්සේ ඔහු ඉදිරියෙන් ගමන් කරමින්, “මම සමිඳාණන් වහන්සේ ය. මම දයානුකම්පාවෙන් පූර්ණ, වහා නොකිපෙන සුලු, මහා කාරුණික සහ විශ්වාසදායී දෙවියන් වහන්සේ ය;</verse>
				<verse number="7">මම දහස් ගණනකට කරුණාව පාමින්, දුෂ්ටකමට ද නපුරට හා පාපයට ද කමාව දෙන්නෙමි. එහෙත් වරදකරුවන් නිදහස් නොකර, පියවරුන්ගේ පව් නිසා තුන් වන, හතර වන දරු පරපුර දක්වා ඔවුන්ගේ දරු මුණුබුරන්ට දඬුවම් කරන දෙවියන් වහන්සේ මම යැ”යි වදාළ සේක.</verse>
				<verse number="8">මෝසෙස් ද වහා බිමට හිස නමා නමස්කාර කෙළේ ය.</verse>
				<verse number="9">ඉන්පසු ඔහු කතා කොට, “සමිඳුනි, ඔබ ඉදිරියෙහි මම අනුග්‍රහය ලබා ඇත්තෙම් නම්, මාගේ සමිඳුන් වන ඔබ අප සමඟ වඩින ලෙස මම අයැද සිටිමි. මේ සෙනඟ නම් මුරණ්ඩු ය. අපේ දුෂ්ටකම හා පාප කමා කොට අප ඔබේ ම උරුමය වශයෙන් ගත මැනව”යි කී ය.</verse>
				<verse number="10">එවිට උන් වහන්සේ ඔහු අමතමින් මෙසේ වදාළ සේක: “බලන්න, මම නුඹ සමඟ ගිවිසුමක් පිහිටුවන්නෙමි. මුළු මිහි පිට වේවා, කිසි ම ජාතියක් අතර වේවා, කවදා වත් නොකළ අරුමපුදුම දේ මම නුඹේ සෙනඟ ඉදිරියෙහි සිදු කරමි. එවිට සමිඳාණන් වහන්සේ වන මට කරන්නට හැකි දේ නුඹ සමඟ සිටින සියලු සෙනඟ දැනගනු ඇත. මන්ද, නුඹ මඟින් මා කරන්න යන්නේ භයානක දෙයකි.</verse>
				<verse number="11">අද දින මා නුඹට අණ කරන පණත් පිළිපදින්න. බලන්න, නුඹ යන්න කලින් අමෝරිවරුන්, කානානිවරුන්, හිත්තීවරුන්, පෙරිස්සිවරුන්, හිවීවරුන් හා ජෙබුසිවරුන් මම පන්නාදමමි.</verse>
				<verse number="12">නුඹ යන දේශයේ වැසියන් සමඟ ගිවිසුමක් නොකිරීමට බලාගන්න. මන්ද, එය නුඹට මර උගුලක් වන්නට පුළුවන.</verse>
				<verse number="13">තවද, නුඹ ඔවුන්ගේ පූජාසන වනසා ශිලාස්තම්භ කුඩු කොට, අෂේරා නම් ශුද්ධස්ථාන සිඳ හෙළිය යුතු යි.</verse>
				<verse number="14">“නුඹ අන් දෙවියෙකුට නමස්කාර නොකළ යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේ වන මාගේ නාමය, ‘ප්‍රතිවාදීන් නොඉවසන උතුමාණෝ’ යනු බැවින් මම ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකි.</verse>
				<verse number="15">එබැවින් නුඹ දේශයේ වැසියන් සමඟ ගිවිසුමක් නොකළ යුතු ය. මන්ද, ඔවුන් මට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගෙන පුද පූජා ඔප්පු කරන බැවින්, නුඹ ද කැඳවූ කල, නුඹත් ඒ පිදේනිවලින් කන්න පුළුවන.</verse>
				<verse number="16">ඇරත් නුඹේ පුතුන්ට ඔවුන්ගේ දූවරුන් පාවා දී, ඔවුන්ගේ දූවරුන් මට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගන්න කල නුඹලාගේ පුතුන් ද මට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගන්න පුළුවන.</verse>
				<verse number="17">“වාත්තු කළ දෙව් පිළිම සාදා නොගත යුතු ය.</verse>
				<verse number="18">“නුඹ නුමුහුන් රොටි මංගල්‍යය පැවැත්විය යුතු ය. මා නුඹට අණ කළ පරිදි ආබිබ් නම් මාසයේ දී දින හතක් නුමුහුන් රොටි අනුභව කළ යුතු ය. මන්ද, නුඹ මිසර දේශයෙන් පිටත ආවේ ඒ මාසයේ ය.</verse>
				<verse number="19">සියලු කුලුඳුලෝ මට අයිති වෙති. නුඹේ ගොවිපළේ ගවයන්ගේ හෝ බැටළුවන්ගේ හෝ සෑම කුලුඳුල් පිරිමි සතෙක් ම මට අයිති වේ.</verse>
				<verse number="20">කුලුඳුල් කොටළුවෙකු වෙනුවට බැටළු පැටවෙකු දී ඌ මුදාගත යුතු ය. නුඹ ඌ මුදා නොගන්නෙහි නම්, උගේ බෙල්ල කැඩිය යුතු ය. තවද, සියලු ම කුලුඳුල් පිරිමි දරුවන් නුඹ මුදාගත යුතු ය. කිසිවෙකු හිස් අතින් මා ඉදිරියට නො ආ යුතු ය.</verse>
				<verse number="21">“දවස් හයක් නුඹ වැඩ කර, හත් වන දවසේ නිවාඩු ගත යුතු ය. සීසාන කාලයේ හෝ අස්වැන්න නෙළන කාලයේ හෝ වුවද එදින නිවාඩු ගත යුතු ය.</verse>
				<verse number="22">“තවද නුඹ සති මංගල්‍යය ද තිරිඟු අස්වැන්නේ නාඹුල් පල මංගල්‍යය ද අවුරුද්ද අවසානයේ දී පලතුරු රැස් කිරීමේ මංගල්‍යය ද පැවැත්විය යුතු ය.</verse>
				<verse number="23">“අවුරුද්දකට තුන් වරක් නුඹේ සියලු පිරිමින්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි පෙනී සිටිය යුතු ය.</verse>
				<verse number="24">නුඹේ රටට නුඹ ඇතුළු වන්නට කල් තියා, මම ජාතීන් නෙරපාදැමූ පසු නුඹේ දේශ සීමා විශාල කරන්නෙමි. අවුරුද්දකට තෙවරක් නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි පෙනී සිටින්න යන විට කිසිවෙක් නුඹේ දේශය යටත් කරගන්න උත්සාහ නොකරන්නෝ ය.</verse>
				<verse number="25">“නුඹ මට පුද කරන යාගයේ ලෙය මුහුන් සමඟ ඔප්පු නොකළ යුතු ය. තවද පාස්කු මංගල්‍යයේ යාගය ද උදය දක්වා නොතැබිය යුතු ය.</verse>
				<verse number="26">“නුඹේ කෙත්වලින් ඉස්තරම් නාඹුල් පල නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මාගේ ගෘහයට ගෙනා යුතු ය. “තවද එළු පැටියෙකු උගේ මවගේ කිරෙහි නොපිසිය යුතු ය.”</verse>
				<verse number="27">නැවතත් සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹ මේ වචන ලියාගන්න. මන්ද, මේ වචන අනුව මා නුඹ සමඟ ද ඉශ්රායෙල්වරුන් සමඟ ද ගිවිසුමක් පිහිටුවන හෙයිනි”යි වදාළ සේක.</verse>
				<verse number="28">මෝසෙස් ද කන්ද මත සමිඳාණන් වහන්සේ සමඟ දාවල් හතළිහක් හා රාත්‍රි හතළිහක් කිසිවක් නොකා නොබී සිටියේ ය. ඔහු ගිවිසුමේ වචන වන දස පණත ගල් පුවරුවල සටහන් කෙළේ ය.</verse>
				<verse number="29">මෝසෙස් සාක්ෂි ගල් පුවරු දෙක තම අතේ තබාගෙන කන්දෙන් බැස්සේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ සමඟ කතා කිරීම නිසා තම මුහුණ බැබළෙමින් තිබුණ බව ඔහු කන්දෙන් බැස එන කල නොදැන සිටියේ ය.</verse>
				<verse number="30">ආරොන් සහ සියලු ඉශ්රායෙල් ජනයා මෝසෙස් දුටු විට, පුදුමයකි! ඔහුගේ මුහුණ බැබළෙමින් තිබිණි. ඔව්හු ඔහු ළඟට එන්නට බිය වූ හ.</verse>
				<verse number="31">එහෙත්, මෝසෙස් ඔවුන් කැඳවූ කල ආරොන් සහ ප්‍රජා මූලිකයන් සියලු දෙන, ඔහු වෙත හැරී ආ විට ඔහු ඔවුන් සමඟ කතා කෙළේ ය.</verse>
				<verse number="32">ඉන්පසු මුළු ඉශ්රායෙල් සෙනඟ ම ඔහු වෙත ළඟා වූයෙන් ඔහු සමිඳාණන් වහන්සේ ඔහුට සීනයි කන්දේ දී වදාළ ආඥා සියල්ල ඔවුන්ට දුන්නේ ය.</verse>
				<verse number="33">මෝසෙස් ඔවුන් සමඟ කතා කොට නිම වූ පසු තම මුහුණ වැස්මකින් වසාගත්තේ ය.</verse>
				<verse number="34">එහෙත්, ඔහු සමිඳාණන් වහන්සේ සමඟ කතා කිරීමට උන් වහන්සේගේ අභිමුඛයට ප්‍රවේශ වූ විට, ඉන් පිටත එන තෙක් ඒ වැස්ම ඉවත් කොට තැබී ය. ඔහු පිටතට පැමිණ තමාට අණ කළ සියල්ල ඉශ්රායෙල් සෙනඟට දැන්විය.</verse>
				<verse number="35">ඉශ්රායෙල් සෙනඟ මෝසෙස්ගේ මුහුණ දෙස බැලූ කල ඔහුගේ මුහුණ බැබළෙමින් තිබුණ බව දුටහ. ඔහු සමිඳාණන් වහන්සේ සමඟ කතා කරන්න ආපසු යන තෙක් තම මුහුණ වැස්මෙන් වසාගත්තේ ය.</verse>
			</chapter>
			<chapter number="35">
				<verse number="1">මෝසෙස් මුළු ඉශ්රායෙල් ජනතාව කැඳවා, ඔවුන්ට කතා කොට මෙසේ කීවේ ය: “ඔබ විසින් කළ යුතු සමිඳාණන් වහන්සේ අණ කළ කරුණු මේවා ය:</verse>
				<verse number="2">‘දවස් හයක් තුළ ඔබ වැඩ කළ යුතු ය. එහෙත්, හත් වන දින ඔබට ශුද්ධ දිනයක් ද සමිඳාණන් වහන්සේට කැප කළ සබත් නිවාඩුවක් ද විය යුතු ය. එදින වැඩ කරන කවරෙකු නමුත් මරනු ලැබිය යුතු ය.</verse>
				<verse number="3">සබත් දවසේ දී ඔබේ කිසි ම නිවාසයක ගින්නක් පවා නො දැල්විය යුතු ය.’ ”</verse>
				<verse number="4">නැවතත් මෝසෙස් මුළු ඉශ්රායෙල් ජනතාව අමතමින් මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ අණ කළ දේ මේ ය:</verse>
				<verse number="5">ඔබ සතු දෙයින් සමිඳාණන් වහන්සේට පඬුරක් වෙන් කළ යුතු ය. එසේ කිරීමට කැමැති සෑම කෙනෙකු ම තම පඬුර සමිඳාණන් වහන්සේ වෙත ගෙනා යුතු ය. එය රන්, රිදී, ලෝකඩ ද</verse>
				<verse number="6">නිල් පාට, දම් පාට, රතු පාට නූල් ද සිහින් ව කටින ලද හණ සහ එළු ලොම් ද</verse>
				<verse number="7">රතු සායම් පෙවූ බැටළු හම් හා පදම් කළ හම් ද ෂිටිම් ලී ද</verse>
				<verse number="8">පහන්වලට තෙල් ද, ආලේප තෛලයට හා සුවඳ දුම් සඳහා සුගන්ධ ද්‍රව්‍ය ද</verse>
				<verse number="9">ඒපොද් නම් සැට්ටයේ සහ ළය වැස්මේ එබ්බවීමට නඛමාණික්‍ය හා වෙනත් මැණික් ද විය හැක.”</verse>
				<verse number="10">“ඔබ අතර සිටින සියලු දක්ෂ ශිල්පීන් පැමිණ, සමිඳාණන් වහන්සේ අණ කළ සියල්ල සෑදිය යුතු ය.</verse>
				<verse number="11">එනම් මණ්ඩපය සහ එහි කූඩාරම, ඊට ආවරණය, කොකු සහ ලෑලි, හරස් පොලු සහ කණු, කෙවෙණි;</verse>
				<verse number="12">ගිවිසුම් කරඬුව සහ එය උසුලාගෙන යෑමට පොලු, කරුණාසනය, එය වසන තිරය;</verse>
				<verse number="13">මේසය සහ එහි කකුල්, එහි උපකරණ සහ පුදන රොටි</verse>
				<verse number="14">ආලෝකය දීමට පහන් රුක, එහි උපකරණ, එහි පහන් හා ඒවා දැල්වීමට තෙල්;</verse>
				<verse number="15">දුම් පූජාසනය හා එහි පොලු, ආලේප තෛලය, සුවඳ දුම්, මණ්ඩපයට ඇතුළු වන දොරටුවේ කඩතුරාව;</verse>
				<verse number="16">දවන යාග පූජාව පුදන පූජාසනය, ඊට සම්බන්ධ ලෝකඩ මේසය, එහි පොලු හා සියලු උපකරණ, සේදීමට වතුර දමන භාජනය හා එහි අඩිය;</verse>
				<verse number="17">මළුවට තිර, එහි කණු, කෙවෙණි, මළුවේ දොරටුවට කඩතුරාව;</verse>
				<verse number="18">මණ්ඩපයට හා මළුවට කූඤ්ඤ හා ඒවායේ ලණු;</verse>
				<verse number="19">ශුද්ධස්ථානයේ සේවය පිණිස නිල් වස්ත්‍ර, පූජක නිලයේ සේවාවට පූජක ආරොන්ගේ ශුද්ධ වස්ත්‍ර හා ඔහුගේ පුතුන් හට වස්ත්‍ර යන ඒවා සෑදිය යුතු ය.”</verse>
				<verse number="20">ඉන්පසු මුළු ඉශ්රායෙල් ජනතාව මෝසෙස් වෙතින් නික්ම ගියහ.</verse>
				<verse number="21">තවද, එසේ දීමට සිය කැමැත්තෙන් එකඟ වූ සැම කෙනෙක් ම සම්මුඛ මණ්ඩපය සෑදීමට ද එහි සියලු සේවාවන් සඳහා ද ශුද්ධ වස්ත්‍ර සඳහා ද සමිඳාණන් වහන්සේ වෙත පඬුරු රැගෙන ආහ.</verse>
				<verse number="22">ස්ත්‍රීහු හා පුරුෂයෝ පැමිණියහ. දීමට කැමැති සෑම දෙනා ම, හාරිච්චි, කුණ්ඩලාභරණ, මුදු, මාල සහ නන්වැදෑරුම් රත්රන් බඩු ගෙනාහ. මෙලෙස සියල්ලෝ ම සමිඳාණන් වහන්සේට කැප කළ රත්රන් බඩු රැගෙන පැමිණියහ.</verse>
				<verse number="23">නිල් පාට, දම් පාට, රතු පාට නූල් ද සිහින් ව කටින ලද හණ ද එළු ලොම් ද රතු සායම් පෙවූ බැටළු ලොම් ද පදම් කළ හම් ද ඇති සියලු දෙන ඒවා ගෙනාහ.</verse>
				<verse number="24">රිදී හෝ ලෝකඩ හෝ දෙන්නට හැකි වූ සියල්ලෝ ම ඒවා සමිඳාණන් වහන්සේ වෙත පඬුරු වශයෙන් ගෙනාහ. යම් වැඩකට ගත හැකි ෂිටිම් ලී තිබූ සියල්ලෝ ද ඒවා ගෙනාහ.</verse>
				<verse number="25">දක්ෂකම් ඇති කාන්තාවන් සියල්ලෝ ද සිය අත්වලින් නූල් කටින්න පටන්ගෙන, ඔවුන් විසින් කටින ලද නිල් පාට, දම් පාට, රතු පාට නූල් ද සිහින් හණපිළි ද ගෙනාහ.</verse>
				<verse number="26">දක්ෂ කාන්තාවන් සියල්ලෝ ද තම හැකියාවන් අනුව එළු ලොම් කටින්නට පටන්ගත්හ.</verse>
				<verse number="27">ඒපොද් නම් සැට්ටයේ හා ළය වැස්මේ ඔබ්බනු සඳහා ප්‍රජා මූලිකයෝ නඛමාණික්‍ය හා වෙනත් මාණික්‍ය ද</verse>
				<verse number="28">පහනට තෙල් ද ආලේප තෛලය හා සුවඳ දුම් සඳහා සුගන්ධ ද්‍රව්‍ය හා තෙල් ද ගෙනාහ.</verse>
				<verse number="29">සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් සෑදීමට අණ කළ නන්වැදෑරුම් සේවාවන් සඳහා බඩු දීමට එකඟ වූ ඉශ්රායෙල් ජනයා අතර සිටි සෑම ස්ත්‍රියක් හා පුරුෂයෙක් ම සිය කැමැත්තෙන් ම සමිඳාණන් වහන්සේ වෙත තම පඬුරු ගෙනාහ.</verse>
				<verse number="30">මෝසෙස් ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කීවේ ය: “බලන්න, සමිඳාණන් වහන්සේ ජුදා ගෝත්‍රයේ හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත් බෙශලෙල් තෝරාගත් සේක.</verse>
				<verse number="31">උන් වහන්සේ ඔහු දේවාත්මානුභාවයෙන් පුරවා, කෞශල්‍යය, හැකියාව සහ අවබෝධය ඔහුට දානය කළ සේක. එසේ කෙළේ නන්වැදෑරුම් කලාත්මක කෘතීන් සඳහාත්,</verse>
				<verse number="32">දක්ෂ කලාවන් නිපැයීමටත් ඒවායේ රනින් හා රිදීයෙන් හා ලෝකඩයෙන් කැටයම් කිරීමටත්,</verse>
				<verse number="33">මැණික් ගල් කපා ඒවායේ එබ්බවීමටත්, ලීයෙන් කැටයම් වැඩ කිරීමටත්, වෙනත් නා නා විධ කලාත්මක කෘතීන් සෑදීමටත් ය.</verse>
				<verse number="34">උන් වහන්සේ ඔහුට ද දාන්ගේ ගෝත්‍රයේ අහිසාමක්ගේ පුත් ඔහොලියාබ්ට ද කලා ශිල්පීන්ට ඉගැන්වීමේ වරය දුන් සේක.</verse>
				<verse number="35">තවද, උන් වහන්සේ කැටයම් ශිල්පීන්ගේ ද කලා ශිල්පීන්ගේ ද නිල් පාට, දම් පාට සහ තද රතු පාට නූලින් සහ සිහින් ව කටින ලද හණවලින් මල් වැඩ දමන්නන්ගේ ද වියන්නන්ගේ ද නන්වැදෑරුම් කෘතීන් කිරීමට හැකියාව ඔවුන්ට දානය කළ සේක. ඔවුන්ට සියලු ආකාර කලා වැඩ කිරීමටත්, දක්ෂ ලෙස සැලැස්ම පිළියෙළ කිරීමටත් පුළුවන් විය.</verse>
			</chapter>
			<chapter number="36">
				<verse number="1">“තවද, සමිඳාණන් වහන්සේ බෙශලෙල්ට සහ ඔහොලියාබ්ට ද අනිකුත් කලා ශිල්පීන්ට ද ශුද්ධස්ථානයේ සේවාවන් සඳහා වැඩ සියල්ල පිළිබඳ අවබෝධය හා දක්ෂතාව දී ඇති බැවින් ඔවුන් උන් වහන්සේ අණ කළ ලෙස සියල්ල ඉටු කළ යුතු ය.”</verse>
				<verse number="2">බෙශලෙල් හා ඔහොලියාබ් ද සමිඳාණන් වහන්සේ කෞශල්‍යය දානය කළ වැඩ කිරීමට කැමැත්ත පෑ දක්ෂ ශිල්පීන් සියල්ලන් ද වැඩට එන ලෙස මෝසෙස් ඔවුන් කැඳවී ය.</verse>
				<verse number="3">ඉශ්රායෙල් ජනයා ශුද්ධස්ථානයේ වැඩ සඳහා, එය ඉදි කිරීමට ගෙනා පඬුරු සියල්ල ඔව්හු මෝසෙස්ගෙන් බාරගත්හ. ඉශ්රායෙල් ජනයා ද උදයක් උදයක් පාසා තම තමන්ගේ පඬුරු ඔහු වෙත ගෙනෙන්නට වූ හ.</verse>
				<verse number="4">එවිට ශුද්ධස්ථානයේ වැඩවල යෙදී සිටි ශිල්පීන් සියල්ලෝ ම තම තමන්ගේ වැඩ නවත්වා, මෝසෙස් වෙත පැමිණ</verse>
				<verse number="5">ඔහුට කතා කොට, “සමිඳාණන් වහන්සේ සෑදීමට අණ කළ වැඩය සඳහා උවමනාවට වඩා දේවල් සෙනඟ ගෙනෙන්නාහ”යි කී හ.</verse>
				<verse number="6">මෝසෙස් ද එවිට අණක් දෙමින්, “මින්පසු කිසි ම පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් හෝ ශුද්ධස්ථානයේ පඬුරු පිණිස යමක් නොකරත් වා”යි යන ප්‍රකාශනයක් මුළු කඳවුරු පුරා ප්‍රසිද්ධ කෙළේ ය. මෙලෙස සෙනඟ පඬුරු ගෙන ඊමෙන් වළක්වනු ලැබූ හ.</verse>
				<verse number="7">මන්ද, ගෙනෙන ලද බඩු බාහිරාදිය සියලු කර්මාන්ත සාදා නිම කිරීමට ප්‍රමාණ වූවා පමණක් නොව ඊට වැඩිමනක් ද විය.</verse>
				<verse number="8">කම්කරුවන් අතර දක්ෂ ශිල්පීහු සියල්ලෝ ම ශුද්ධස්ථානය සෑදූ හ. සිහින් ව කටින ලද හණවලින් ද නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් ද තිර දහයක් සාදන ලදු ව ඒවායේ කෙරුබ්වරුන්ගේ රූප ගෙත්තම් කරන ලදී.</verse>
				<verse number="9">එක තිරයක දිග මීටර් දොළොසක් ද පළල මීටර් දෙකක් ද විය. සියල්ල ම එක ප්‍රමාණයට විය.</verse>
				<verse number="10">ඔහු තිර පහ බැගින් ගෙන ඒවා වෙන වෙන ම එකට යා කෙළේ ය.</verse>
				<verse number="11">ඔහු ඉන්පසු යා කළ තිරවල එක කොනක අන්තිම තිරයේ වාටියේ නිල් පාට රෙදිවලින් මුදු සෑදී ය. යා කළ අනිත් තිරවල, අන්තිම තිරයේ ද එලෙස ම කෙළේ ය.</verse>
				<verse number="12">පසුව ඔහු එක තිර වාටියක මුදු පණහක් ද ඒවා එකිනෙකට මුහුණ ලා සිටින ලෙස, අනිත් තිරවල අන්තිම තිර වාටියේ මුදු පණහක් ද සවි කෙළේ ය.</verse>
				<verse number="13">මෙසේ කළ පසු ඔහු රන් කොකු පණහක් සාදා එක මණ්ඩපයක් වන පරිදි තිර එකටෙක කොකුවලින් සම්බන්ධ කෙළේ ය.</verse>
				<verse number="14">පසුව ඔහු මණ්ඩපය උඩින් කූඩාරම් ආවරණයක් මෙන් දැමීමට එළු ලොමින් තිර එකොළහක් සෑදී ය.</verse>
				<verse number="15">එක එක තිරයේ දිග මීටර් දහතුනක් ද පළල මීටර් දෙකක් ද විය. තිර එකොළහක් ම එක ප්‍රමාණයට ද විය.</verse>
				<verse number="16">එවිට ඔහු තිර පහක් ද තිර හයක් ද වෙන් වෙන් ව එකට යා කොට</verse>
				<verse number="17">පළමුවෙන් යා කළ තිර පහේ අන්තිම තිරයේ වාටියේ මුදු පණහක් ද අනිත් තිරවල අන්තිම තිරයේ වාටියේ මුදු පණහක් ද සවි කෙළේ ය.</verse>
				<verse number="18">කූඩාරම් ආවරණය එකක් වන සේ ඔහු ලෝකඩ කොකු පණහක් ද සෑදී ය.</verse>
				<verse number="19">මෙසේ සාදා රතු සායම් පෙවූ බැටළු හම්වලින් කූඩාරමට ආවරණයක් ද එය උඩ අතුරන පිණිස පදම් කළ සම් ආවරණයක් ද සෑදී ය.</verse>
				<verse number="20">තවද, ඔහු මණ්ඩපයට ෂිටිම් ලීවලින් ලෑලි සාදා ඒවා කෙළින් සිටුවිය.</verse>
				<verse number="21">එක ලෑල්ලක දිග මීටර් හතරක් ද පළල සෙන්ටිමීටර් හැටහයක් ද විය.</verse>
				<verse number="22">එක එක ලෑල්ලක ඒවා එකටෙක යා කිරීම පිණිස කුඩිම්බි දෙකක් විය. මෙලෙස ඔහු මණ්ඩපයේ ලෑලි සියල්ල ම සෑදී ය.</verse>
				<verse number="23">දකුණු දිශාවට මූණ ලා මණ්ඩපයේ දකුණු පැත්තට ලෑලි විස්සක් සෑදී ය.</verse>
				<verse number="24">තවද, ඔහු එක ලෑල්ලක කුඩිම්බි දෙක යට තවු දෙකක් ද අනික් ලෑල්ලේ කුඩිම්බි දෙක යට තවු දෙකක් ද බැගින් ඔහු ලෑලි විස්සට රිදී තවු හතළිහක් සෑදී ය.</verse>
				<verse number="25">මණ්ඩපයේ උතුරු පැත්තට ඔහු ලෑලි විස්සක් ද</verse>
				<verse number="26">එක ලෑල්ලක් යට තවු දෙක බැගින් රිදී තවු හතළිහක් ද සෑදී ය.</verse>
				<verse number="27">මණ්ඩපයේ පිටුපස බටහිර දිශාවට ලෑලි හයක් ද</verse>
				<verse number="28">එහි පිටුපස කොන්වලට ලෑලි දෙකක් ද සෑදී ය.</verse>
				<verse number="29">මේ ලෑලි ඒවායේ පහළ කොටස්වල සිට ඉහළ කොටසේ පළමු වන වළල්ල දක්වා සම්බන්ධ කළ යුතු විය. කොන් දෙකේ තබන ලෑලි දෙකට ද එලෙස කළ යුතු වේ.</verse>
				<verse number="30">මෙලෙස එක එක ලෑල්ලක තවු දෙක බැගින් රිදී තවු දහසයක් සහිත ව ලෑලි අටක් ඇති වේ.</verse>
				<verse number="31">තවද, මණ්ඩපයේ එක පැත්තක තිබෙන ලෑලිවලට ෂිටිම් ලීවලින් හරස් ලී පහක් සෑදිය යුතු විය.</verse>
				<verse number="32">මණ්ඩපයේ අනික් පැත්තේ ලෑලිවලට තව හරස් පොලු පහක් ද මණ්ඩපයේ බටහිර අංශයේ ලෑලිවලට හරස් පොලු පහක් ද සෑදිය යුතු වේ.</verse>
				<verse number="33">ලෑලිවල මැදින් යන මැද හරස් ලීය එක කොනක සිට අනිත් කොන දක්වා විහිදෙන ලෙස ඔහු එය සෑදී ය.</verse>
				<verse number="34">ඔහු ලෑලි රනින් ආලේප කොට හරස් ලී දැමීමට රන් මුදු ද සාදා, හරස් ලී ද රනින් ආලේප කෙළේ ය.</verse>
				<verse number="35">ඉන්පසු ඔහු නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් හා සිහින් ව කටින ලද හණපිළියෙන් තිරයක් සාදා එහි කෙරුබ්වරුන්ගේ රූප ගෙත්තම් කෙළේ ය.</verse>
				<verse number="36">මෙසේ කොට එය එල්ලීම සඳහා රිදී තවු සතරක් සවි කළ රන් කොකු සතරක් ඇති රන් ගෑ ෂිටිම් ලීයෙන් කණු සතරක් සෑදී ය.</verse>
				<verse number="37">පසුව ඔහු මණ්ඩපයේ දොරටුවට, නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද මල් වැඩ දැමූ කඩතුරාවක් ගෙතී ය.</verse>
				<verse number="38">මෙසේ ගොතා ඔහු කොකු සවි කළ කණු පහක් සාදා, ඒවායේ මුදුන් ද ඒවායේ පොලු ද රනින් ආලේප කෙළේ ය. එහෙත් එවායේ තවු පහ ලෝකඩයෙන් සාදන ලදී.</verse>
			</chapter>
			<chapter number="37">
				<verse number="1">බෙශලෙල් ද ෂිටිම් ලීයෙන් ගිවිසුම් කරඬුව සෑදී ය. එහි දිග සෙන්ටිමීටර් එකසිය දහයක් ද පළල සෙන්ටිමීටර් හැටහයක් ද උස සෙන්ටිමීටර් හැටහයක් ද විය.</verse>
				<verse number="2">එහි ඇතුළත ද පිටත ද රන් ආලේප කොට එය වටේට රන් ලීස්තරයක් සෑදී ය.</verse>
				<verse number="3">එය උසුලාගෙන යනු පිණිස එහි කොන් සතරට රත්රන් වළලු සතරක් සාදා ඒවා එක පැත්තක දෙක බැගින් දෙපැත්තේ සවි කෙළේ ය.</verse>
				<verse number="4">පසුව ඔහු ෂිටිම් ලීයෙන් පොලු සාදා ඒවායේ ද රන් ගා,</verse>
				<verse number="5">කරඬුව උසුලාගෙන යනු පිණිස කරඬුවේ දෙපැත්තේ මුදු තුළින් ඒවා දැමී ය.</verse>
				<verse number="6">කරුණාසනය ද තනි රනින් සෑදී ය. එහි දිග සෙන්ටිමීටර් එකසිය දහයක් ද පළල සෙන්ටිමීටර් හැටහයක් ද විය.</verse>
				<verse number="7">තවද, ඔහු කරුණාසනයේ දෙකෙළවරේ එක්කෙනා බැගින් සවි කරනු පිණිස තළාපු රනින් කෙරුබ්වරුන් දෙදෙනෙකු නිර්මාණ කෙළේ ය.</verse>
				<verse number="8">කරුණාසනය සමඟ ඒකාබද්ධ ව පවතින ලෙස එක් කෙනෙකු එක් කොනක ද එක් කෙනෙකු අනිත් කොනේ ද ඔහු ඔවුන් සෑදී ය.</verse>
				<verse number="9">කෙරුබ්වරුන්ගේ ද පියාපත් උඩට විහිදී, කරුණාසනයට ඉහළින් එය වසා ගත්තාක් මෙන් තිබිණි. තවද, ඔවුන් එකිනෙකා මුහුණට මුහුණ ලා සිටින පරිදි කරුණාසනය දෙසට ඔවුන්ගේ මුහුණු හැරී තිබිණි.</verse>
				<verse number="10">ෂිටිම් ලීයෙන් ඔහු මේසය ද සෑදී ය. එහි දිග සෙන්ටිමීටර් අසූඅටක් ද පළල සෙන්ටිමීටර් හතළිස්හතරක් ද උස සෙන්ටිමීටර් හැටහයක් ද විය.</verse>
				<verse number="11">එය ද රනින් ආලේප කොට එහි රනින් ලීස්තරයක් ද ඔහු සෑදී ය.</verse>
				<verse number="12">එය වටේට මිලිමීටර් හැත්තෑපහක් පළල පටියක් සවි කර, එය වටේ ද රන් ලීස්තරයක් සෑදී ය.</verse>
				<verse number="13">පසුව රන් වළලු සතරක් සාදා කකුල් සතරේ කොන් සතරේ ඒවා දැමී ය.</verse>
				<verse number="14">මේසය උසුලාගෙන යෑම සඳහා දමන පොලු රිංගවන වළලු, පටිය ළඟ ම තිබිණි.</verse>
				<verse number="15">මේසය උසුලාගෙන යෑම සඳහා පොලු ද ෂිටිම් ලීයෙන් සාදා ඒවායේ ද රන් ආලේප කෙළේ ය.</verse>
				<verse number="16">එහි තබන තැටි ද කුසලාන ද බුජම් ද පානීය පඬුරු දැමීමට ගන්නා පාත්‍ර ද ඔහු තනි රනින් සෑදී ය.</verse>
				<verse number="17">තවද, ඔහු පහන් රුක ද තනි රනින් සෑදුවේ ය. එහි අඩිය ද කඳ ද තළාපු රනින් නිමවා, එහි මල් ද මොට්ටු ද මල් පෙති ද එක වස්තුවක් වන සේ සම්බන්ධ කෙළේ ය.</verse>
				<verse number="18">පහන් රුකේ එක පැත්තකින් අතු තුනක් ද අනික් පැත්තෙන් අතු තුනක් ද බැගින්, එහි පැතිවලින් අතු හයක් විහිදිණි.</verse>
				<verse number="19">එක අත්තක කොට්ටම්බා වැනි මල් තුනක් ද මොට්ටු හා පෙති ද අනික් අත්තේ කොට්ටම්බා වැනි මල් තුනක් ද මොට්ටු හා පෙති ද බැගින් පහන් රුකින් විහිදෙන අතු හයේ ම එලෙස කෙළේ ය.</verse>
				<verse number="20">පහන් රුක් කඳේ කොට්ටම්බා වැනි මල් හතරක් ද ඒවායේ මොට්ටු ද මල් පෙති ද තිබිණි.</verse>
				<verse number="21">පහන් රුකේ අතු දෙකක් යට එක මල් මොට්ටුවක් ද තවත් අතු දෙකක් යට තව මල් මොට්ටුවක් ද අනිත් අතු දෙක යට තව මල් මොට්ටුවක් ද බැගින් ඉන් විහිදී ගිය අතු හයෙහි එලෙස කෙළේ ය.</verse>
				<verse number="22">මොට්ටු සහ අතු, පහන් රුක සමඟ ඒකාබද්ධ ව තිබිණි. සියල්ල ම තැළූ තනි රනින් නිම කරන ලදී.</verse>
				<verse number="23">තවද, ඔහු ඊට පහන් හතක් ද, පහන් තිර හා තැටි ද තනි රනින් සෑදී ය.</verse>
				<verse number="24">පහන් රුක හා එහි සියලු උපකරණ තනි රත්රන් කිලෝග්‍රෑම් තිස්පහකින් සාදන ලදී.</verse>
				<verse number="25">තවද, ඔහු ෂිටිම් ලීයෙන් දුම් පූජාසනයක් සෑදීය. එය දිගින් සෙන්ටිමීටර් හතළිස්පහක් ද පළලින් සෙන්ටිමීටර් හතළිස්පහක් ද උසින් සෙන්ටිමීටර් අනූවක් ද වූ හතරැස් එකක් විය. එහි කොන්වල වූ අං ද පූජාසනයට පාස්සා තිබිණි.</verse>
				<verse number="26">එහි මතුපිට ද හතර පැත්ත ද අං ද තනි රනින් ආලේප කොට, ඔහු එය වටේට රන් ලීස්තරයක් ද සෑදී ය.</verse>
				<verse number="27">තවද එය උසුලාගෙන යන පිණිස පොලු රිංගවනු සඳහා එහි දෙපැත්තේ දෙකෙළවරේ ලීස්තරය යට රන් වළලු දෙකක් ඔහු සවි කෙළේ ය.</verse>
				<verse number="28">පොලු ද ඔහු ෂිටිම් ලීයෙන් සාදා ඒවා රනින් ආලේප කෙළේ ය.</verse>
				<verse number="29">තවද, සුවඳ ද්‍රව්‍ය සංයෝගකරුවෙකුගේ ශාස්ත්‍රය අනුව ඔහු සුගන්ධ ද්‍රව්‍ය ගෙන ශුද්ධ ආලේප තෛලය හා පිරිසිදු සුවඳ ද්‍රව්‍ය සංයෝගය කෙළේ ය.</verse>
			</chapter>
			<chapter number="38">
				<verse number="1">ඔහු ෂිටිම් ලීයෙන් දවන යාග පුදන පූජාසනය සෑදී ය. එහි දිග මීටර් දෙකයි දශම දෙකක් ද පළල මීටර් දෙකයි දශම දෙකක් ද උස මීටර් එකයි දශම තුනක් ද වූ අතර එය චතුරස්‍රාකාර විය.</verse>
				<verse number="2">එහි කොන් හතරේ පිටතට නෙරා ගිය අං හතර සාදා, පූජාසනය සමඟ ඒකාබද්ධ වන සේ ඒවා පාස්සා ලෝකඩයෙන් ආලේප කෙළේ ය.</verse>
				<verse number="3">ඉන්පසු එහි උපකරණ වන බඳුන් හා ඉස්කෝප්ප හැඳි ද පාත්‍ර හා අඬු ද ගිනි කබල් ද යන සියල්ල ලෝකඩයෙන් ම නිම කෙළේ ය.</verse>
				<verse number="4">තවද, ඊට දැලක අයුරින් ලෝකඩයෙන් මැස්සක් සාදා, පූජාසනයේ පහළ සිට එහි මැද හරියට වන තරම්, එහි ගැටිය යට එය තැබී ය.</verse>
				<verse number="5">පසුව පොලු රිංගවන පිණිස ලෝකඩ මැස්සේ හතර කොනේ වළලු හතරක් යෙදී ය.</verse>
				<verse number="6">ෂිටිම් ලීයෙන් පොලු ද සාදා ඒවා ලෝකඩයෙන් ආලේප කෙළේ ය.</verse>
				<verse number="7">ඉන්පසු පූජාසනය උසුලාගෙන යෑමට එහි පැතිවල තිබූ වළලු තුළින් පොලු දැමී ය. පූජාසනය තුළ ද කුහරයක් ඇති වන සේ එය ලෑලිවලින් සෑදී ය.</verse>
				<verse number="8">ඉන්පසු ඔහු සම්මුඛ කූඩාරමට ඇතුළු වන දොරටුව ළඟ සේවා කළ කාන්තාවන්ගේ ලෝකඩ කැඩපත්වලින් වතුර භාජනය සහ එහි ලෝකඩ අඩිය සෑදී ය.</verse>
				<verse number="9">ඔහු මළුව ද තනා එහි දකුණු පැත්තට මුහුණ දුන් දක්ෂිණ අංශයේ තිර සිහින් ව ගෙතූ හණවලින් සෑදී ය. ඒවායේ දිග මීටර් හතළිස්හතරක් විය.</verse>
				<verse number="10">ඊට ලෝකඩයෙන් නිම කළ කුළුණු විස්සක් හා තවු විස්සක් ද විය. කණුවල කොකු සහ පොලු රිදීයෙන් සෑදිණි.</verse>
				<verse number="11">මළුවේ උතුරු පැත්තට ද මීටර් හතළිස්හතරක් දිග තිර සාදන ලදී. ඒවාට කුළුණු විස්සක් ද ලෝකඩ තවු විස්සක් ද වූ අතර කුළුණුවල කොකු සහ පොලු රිදීයෙන් නිම විය.</verse>
				<verse number="12">එහි බටහිර පැත්තට ද මීටර් විසිදෙකක් දිග තිර සෑදු අතර ඒවාට කුළුණු දහයක් ද තවු දහයක් ද සාදන ලදී. කුළුණුවල කොකු සහ ඒවායේ පොලු රිදීයෙන් විය.</verse>
				<verse number="13">නැගෙනහිර පැත්තට මුහුණ දුන් නැගෙනහිර අංශයේ තිරයේ දිග ද මීටර් විසිදෙකක් විය.</verse>
				<verse number="14">දොරටුවේ එක පැත්තකට මීටර් හයයි දශම හයක් දිග තිර විය. ඒවාට කුළුණු තුනක් හා තවු තුනක් ද විය.</verse>
				<verse number="15">මළුවට ඇතුළු වන දොරටුවේ අනික් පැත්තටත්, එලෙස ම තව දෙපැත්තකටත් මීටර් හයයි දශම හයක් ද දිග තිර විය. ඒවාට කුළුණු තුනක් හා තවු තුනක් ද විය.</verse>
				<verse number="16">තවද, මළුව වටේට ම සෑදූ තිර සිහින් ව කටින ලද හණවලින් විය.</verse>
				<verse number="17">කුළුණුවල තවු ලෝකඩයෙනුත් ඒවායේ කොකු සහ පොලු ද ඒවායේ පේකඩ වැස්ම ද රිදීයෙනුත් විය. මළුවේ කුළුණු සියල්ල රිදී පොලුවලින් යා කරන ලදී.</verse>
				<verse number="18">මළුවට ඇතුළු වන දොරටුවේ තිර ගෙත්තම් කොට මල් වැඩ දැමූ, නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද විය. ඒවායේ දිග මීටර් නවයකි, උස මීටර් දෙකකි. ඒවා මළුවේ තිර හා සමාන විය.</verse>
				<verse number="19">ඒවාට කුළුණු හතරකි, ලෝකඩයෙන් පොලු රිංගවන පිණිස ලෝකඩ මැස්සේ හතර සෑදූ තවු හතරකි. ඒවායේ කොකු ද පේකඩ වැස්ම සහ පොලු ද රිදීයෙන් විය.</verse>
				<verse number="20">තවද, මණ්ඩපයේ සහ මළුව වටේට ම වූ කූඤ්ඤ සියල්ල ලෝකඩයෙන් විය.</verse>
				<verse number="21">සාක්ෂි ගිවිසුම් කරඬුව තැබූ මණ්ඩපය සෑදීමට ගත් ලෝහ වර්ගවල ප්‍රමාණය මෙසේ විය. මේ ලැයිස්තුව මෝසෙස් විසින් අණ කරන ලදු ව, ආරොන්ගේ පුත් ඊතාමාර් යටතේ වැඩ කළ ලෙවීවරුන් විසින් පිළියෙළ කරන ලදී.</verse>
				<verse number="22">තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට සෑදීමට අණ කළ සියල්ල, ජුදාගේ ගෝත්‍රයේ හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත් බෙශලෙල් විසින් සාදන ලදී.</verse>
				<verse number="23">තවද, ඔහු සමඟ දාන්ගේ ගෝත්‍රයේ අහිසාමක්ගේ පුත්‍ර ඔහොලියාබ් ද විය. මොහු කැටයම් වැඩ කරන්නෙකි, ගෙත්තම්කරුවෙකි, නිල් පාට, දම් පාට, තද රතු පාට නූල් සහ සිහින් ව කටින ලද හණ ගෙත්තම් කොට මල් වැඩ දමන්නෙකි.</verse>
				<verse number="24">සමිඳාණන් වහන්සේට කැප කළ, ශුද්ධස්ථානයේ කර්මාන්ත සියල්ලට භාවිතා කළ රත්රන්වල ප්‍රමාණය, කිලෝග්‍රෑම් දාහක් හා ශුද්ධස්ථානයේ කිරුම් බර අනුව කිලෝග්‍රෑම් තුන්දාස් හාරසිය තිහක් ද විය.</verse>
				<verse number="25">ජන සංගණනය අනුව ලබාගත් රිදී ප්‍රමාණය ශුද්ධස්ථානයේ කිරුම් බර අනුව කිලෝග්‍රෑම් තුන්දාස් හාරසිය තිහක් විය.</verse>
				<verse number="26">සංගණනයට ඇතුළත් වූ වයස අවුරුදු විස්සක් හා ඊට වැඩි වූ සෑම කෙනෙකුගෙන් ම ශුද්ධස්ථානයේ කිරුම් බර අනුව නියම මිල ගන්නා ලදී. මෙසේ සංගණනයට ඇතුළත් වූ පිරිමි හයලක්ෂ තුන්දාස් පන්සිය පණහක් වූ හ.</verse>
				<verse number="27">ශුද්ධස්ථානයේ හා තිරවල තවු සඳහා, එනම් තවු එකකට කිලෝග්‍රෑම් තිස්හතර බැගින් තවු සියයකට රිදී කිලෝග්‍රෑම් තුන්දාස් හාරසිය තිහක් පාවිච්චි කරන ලදී.</verse>
				<verse number="28">ඉතිරි වූ රිදී කිලෝග්‍රෑම් තිහ කුළුණුවල කොකු සෑදීමටත්, කුළුණුවල පේකඩවල මුදුනේ ගෑමටත්, ඒවායේ පොලුවලටත් භාවිතා කරන ලදී.</verse>
				<verse number="29">සමිඳාණන් වහන්සේට පිදූ ලෝකඩවල ප්‍රමාණය කිලෝග්‍රෑම් දෙදාස් හාරසිය විසිපහක් විය.</verse>
				<verse number="30">එයින් ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරටුවට තවු ද ලෝකඩ පූජාසනය සහ ලෝකඩ මැස්ස ද පූජාසනයේ සියලු උපකරණ ද</verse>
				<verse number="31">මළුව වටේට තිබූ තවු ද මළු දොරටුවේ තවු ද මණ්ඩපයේ හා මළුව වටේ තිබූ කූඤ්ඤ සියල්ල ද සෑදී ය.</verse>
			</chapter>
			<chapter number="39">
				<verse number="1">තවද ඔව්හු නිල් පාට, දම් පාට, තද රතු පාට නූල් ගෙන ශුද්ධස්ථානයේ සේවාවන් සඳහා පූජක සේවා නිල ඇඳුම් සෑදූ හ. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි ආරොන් සඳහා ශුද්ධ වස්ත්‍ර සාදන ලදී.</verse>
				<verse number="2">ඔහු රනින් ද නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් හා සිහින් ව කටින ලද හණවලින් ද ඒපොද් නම් සැට්ටය සෑදී ය.</verse>
				<verse number="3">ඔව්හු රත්රන්, තුනී තහඩුවලට තළා, රන් කෙඳි කපා, ඒවායින් නිල් පාට, දම් පාට, තද රතු පාට නූල් ද සිහින් ව කටින ලද හණ ද ගෙත්තම් කොට මල් වැඩ දැමූ හ.</verse>
				<verse number="4">ඉන්පසු ඒපොද් නම් සැට්ටය සඳහා එය යා කිරීමට උර පටි ද සාදන ලදු ව, එහි දෙකෙළවරට ඒවා සම්බන්ධ කරන ලදී.</verse>
				<verse number="5">එය සමඟ ඒකාබද්ධ ව පවතින සේ, එය හා සමාන වූ ගොතන ලද බඳපටිය ද සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් හා සිහින් ව කටින ලද හණවලින් සාදන ලදී.</verse>
				<verse number="6">ඔව්හු නඛමාණික්‍ය සාදා ඒවා රන් කෙවෙණිවලට එබ්බූ හ. මුද්‍රා කැටයම් කලාව අනුව, ඉශ්රායෙල් ජනතාවගේ නාම ඒවායේ කැටයම් කරන ලදී.</verse>
				<verse number="7">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ඉශ්රායෙල් ජනයා පිළිබඳ සිහිවටනයක් වන පිණිස, ඔහු ඒවා ඒපොද් නම් සැට්ටයේ උර පටිවල දැමී ය.</verse>
				<verse number="8">ඒපොද් සැට්ටය මෙන් ම, ළය වැස්ම ද ගෙත්තම් කොට එහි මල් වැඩ දැමී ය. එය ද රනින් හා නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් හා සිහින් ව කටින ලද හණවලින් ද සාදන ලදී.</verse>
				<verse number="9">එය චතුරස්‍රාකාර විය. දෙපටක් වන සේ එය සාදන ලදු ව එහි දිග සෙන්ටිමීටර් විසිදෙකක් ද පළල සෙන්ටිමීටර් විසිදෙකක් ද විය.</verse>
				<verse number="10">එය මතුපිට මැණික් ගල් පේළි හතරක් බඳිනු ලැබී ය. පළමු වන පේළිය ලෝහිතංකයක් ද පුෂ්පරාගයක් ද මරකතයක් ද,</verse>
				<verse number="11">දෙ වන පේළිය පච්ච මාණික්‍යයක් ද නීල මාණික්‍යයක් ද වජ්‍රයක් ද,</verse>
				<verse number="12">තෙ වන පේළිය පද්මරාගයක් ද වර්ණ කාන්තියක් ද අඹතෙස් ගලක් ද</verse>
				<verse number="13">සතර වන පේළිය රන් කාන්තියක් ද රතු කැටයක් ද සූර්ය කාන්තියක් ද විය. ඒවා රන් කෙවෙණිවල බහා තිබිණි.</verse>
				<verse number="14">මෙසේ ඉශ්රායෙල් ජනයාගේ නාම අනුව ගල් දොළොසක් තිබිණි. මුද්‍රා කැටයම් කලාව අනුව එක් එක් ගලක ගෝත්‍ර දොළොසේ නාම එක එක බැගින් තිබිණි.</verse>
				<verse number="15">ළය වැස්ම සඳහා තනි රනින් එකට ගෙතූ මාල සාදනු ලැබී ය.</verse>
				<verse number="16">ඔව්හු රන් කෙවෙණි දෙකක් හා රන් මුදු දෙකක් සාදා ළය වැස්මේ දෙකෙළවරේ ඒ මුදු දෙක දැමූ හ.</verse>
				<verse number="17">ඔව්හු ගෙතූ රන් මාල දෙක ළය වැස්මේ දෙකෙළවරේ වූ මුදු දෙකේ ඇමුණුවෝ ය.</verse>
				<verse number="18">ගෙතූ මාල දෙකේ අනිත් දෙකෙළවරේ රන් කෙවෙණි දෙකට අමුණා ඒවා ඒපොද් සැට්ටයේ උර පටි ඉස්සරහින් තැබූ හ.</verse>
				<verse number="19">තවද, ඔව්හු රන් මුදු දෙකක් ද සාදා, ළය වැස්මේ පහත වාටියේ දෙකෙළවරේ ඒපොද් සැට්ටය දෙසට ඇතුළු පැත්තේ ඒවා සවි කළහ.</verse>
				<verse number="20">ඔව්හු තවත් රන් මුදු දෙකක් සාදා ඒපොද් සැට්ටයට යටින්, දෙපැත්තේ, එහි උර පටි දෙක පිට, සන්ධිය ළඟ ගොතන ලද බඳපටියට උඩින් ඒවා දැමූ හ.</verse>
				<verse number="21">තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ළය වැස්ම, ඒපොද් සැට්ටයේ ගොතන ලද බඳපටිය මත තිබෙන පිණිසත්, එය ඒපොද් නම් සැට්ටයෙන් බුරුල් නොවී පවතින පිණිසත් එහි මුදු, ඒපොද් සැට්ටයේ මුදුවලට නිල් පැහැති පටියකින් බඳින ලදී.</verse>
				<verse number="22">ඉන්පසු ඔව්හු ඒපොද් සැට්ටයේ සළුව මුළුමණින් ම නිල් පැහැති ලෝමවලින් සෑදූ හ.</verse>
				<verse number="23">එහි මැද හිස දැමීමට සිදුරක් තිබූ අතර, මේ සිදුර නොඉරෙන පිණිස හම් කබායක සිදුර මෙන් එය වටේට වියන ලද වාටියක් විය.</verse>
				<verse number="24">තවද, ඔව්හු එහි පහළ වාටිය දිගේ ම නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද දෙළුම් ගෙඩි සෑදූ හ.</verse>
				<verse number="25">ඉන්පසු ඔව්හු තනි රනින් මිණිගෙඩි සාදා, ඒ මිණිගෙඩි, සළුවේ පහළ වාටිය දිගේ ම දෙළුම් ගෙඩි අතර දැමූ හ.</verse>
				<verse number="26">මෙලෙස සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි පූජක සළුවේ වාටිය දිගේ ම රන් මිණිගෙඩියක් හා දෙළුම් ගෙඩියක් බැගින් මාරුවෙන් මාරුවට තිබිණි.</verse>
				<verse number="27">ඔව්හු ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් සඳහා සිහින් ව කටින ලද හණවලින් කබා ද</verse>
				<verse number="28">මකුටයක් සහ හිස් වැසුම් ද කලිසම් ද</verse>
				<verse number="29">සිහින් ව කටින ලද හණවලින් හා නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් ගොතන ලද බඳපටියක් ද සෑදූ හ. මේ සියල්ල ම සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔව්හු ඉටු කළහ.</verse>
				<verse number="30">පසුව ඔව්හු තනි රනින් කිරීටයේ තහඩුවක් සාදා එය මත මුද්‍රා කැටයම් කලාව අනුව “සමිඳාණන් වහන්සේට කැප ය” යන වචන කැටයම් කළහ.</verse>
				<verse number="31">ඉන්පසු සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔව්හු ඊට නිල් පටියක් බැඳ එයින් එය මකුටයට වෙළූහ.</verse>
				<verse number="32">මෙලෙස ජනතාවගේ සම්මුඛ මණ්ඩපයේ වැඩ සියල්ල නිම කරන ලදී. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ම ඉශ්රායෙල් ජනයා සියල්ල කළහ.</verse>
				<verse number="33">ඉන්පසු ඔව්හු මෝසෙස් වෙත මණ්ඩපය ද කූඩාරම හා එහි බඩු බාහිරාදිය සියල්ල ද කොකු හා ලෑලි ද හරස් ලී හා කුළුණු ද ඒවායේ තවු ද</verse>
				<verse number="34">රතු සායම් පෙවූ බැටළු හම් ද පදම් කළ හම් ද කඩතුරාවේ තිරය ද</verse>
				<verse number="35">ගිවිසුම් කරඬුව හා එහි පොලු ද කරුණාසනය ද</verse>
				<verse number="36">මේසය හා එහි උපකරණ සියල්ල ද පිදුම් රොටි ද</verse>
				<verse number="37">තනි රන් පහන් රුක හා එහි පහන් ද පිළිවෙළට තබන පහන් හා එහි උපකරණ සියල්ල ද පහන දැල්වීමට තෙල ද</verse>
				<verse number="38">රන් පූජාසනය ද ආලේප තෛලය හා සුවඳ ද්‍රව්‍ය ද මණ්ඩපයේ දොරටුවට කඩතුරාව ද</verse>
				<verse number="39">ලෝකඩ පූජාසනය ද එහි ලෝකඩ මැස්ස ද එහි පොලු හා එහි සියලු උපකරණ ද වතුර භාජනය හා එහි අඩිය ද</verse>
				<verse number="40">මළුවේ තිර හා කුළුණු ද ඒවායේ තවු ද මළුවේ දොරටුවට සැදූ කඩතුරාව ද එහි ලණු හා කූඤ්ඤ ද මණ්ඩපයේ හා සම්මුඛ මණ්ඩපයේ සේවාවන් සඳහා වූ උපකරණ සියල්ල ද</verse>
				<verse number="41">ශුද්ධස්ථානයේ සේවාව සඳහා සියුම් ව වියන ලද සේවා පිළි ද පූජක නිලයේ සේවා කිරීමට අවශ්‍ය වන පූජක ආරොන්ගේ ශුද්ධ වස්ත්‍ර හා ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍ර ද ගෙනාහ.</verse>
				<verse number="42">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ම ඉශ්රායෙල් ජනයා සියල්ල ඉටු කළහ.</verse>
				<verse number="43">මෝසෙස් කර්මාන්ත සියල්ල නැරඹුව විට සමිඳාණන් වහන්සේ අණ කළ ප්‍රකාර ම ඔවුන් සියල්ල ම ඉටු කර තිබෙන බව දැක ඔහු ඔවුන්ට ආශීර්වාද කෙළේ ය.</verse>
			</chapter>
			<chapter number="40">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“පළමු වන මාසයේ පළමු වන දින දී මණ්ඩපයේ සම්මුඛ මණ්ඩපය සාදා,</verse>
				<verse number="3">එහි ගිවිසුම් කරඬුව තබා තිරයකින් වැසිය යුතු ය.</verse>
				<verse number="4">මේසය ගෙනැවිත්, එය මත පිළිවෙළට තැබිය යුතු දේවල් එය මත තබා, පහන් රුක ද ගෙනැවිත්, එහි පහන් දැල්විය යුතු ය.</verse>
				<verse number="5">දුම් දවන රන් පූජාසනය ද ගිවිසුම් කරඬුව ඉදිරිපිට තබා කූඩාරම් දොරටුවට කඩතුරාව දැමිය යුතු ය.</verse>
				<verse number="6">ඉන්පසු සම්මුඛ මණ්ඩපයේ දොරටුව ඉදිරිපිට දවන යාග පූජාසනය තැබිය යුතු වේ.</verse>
				<verse number="7">සම්මුඛ මණ්ඩපයත්, පූජාසනයත් අතර වතුර භාජනය තබා ඊට වතුර පිරවිය යුතු ය.</verse>
				<verse number="8">වටේට මළුව ද සකස් කොට මළුවේ දොරකඩ කඩතුරාව එල්ලිය යුතු ය.</verse>
				<verse number="9">“ඉන්පසු ආලේප තෛලය ගෙන මණ්ඩපයත්, එහි ඇති සියල්ලත් ආලේප කොට, එයත්, එහි උපකරණ සියල්ලත් කැප කළ යුතු ය. මෙලෙස එය ශුද්ධ එකක් වනු ඇත.</verse>
				<verse number="10">දවන යාග පූජාසනය ද එහි සියලු උපකරණ ද තෙලින් ආලේප කොට, පූජාසනය කැප කළ යුතු වේ. මෙලෙස එම පූජාසනය අතිශුද්ධ එකක් වනු ඇත.</verse>
				<verse number="11">වතුර භාජනයත්, එහි අඩියත් ආලේප කොට එය කැප කළ යුතු වේ.</verse>
				<verse number="12">“ඉන්පසු ආරොන් ද ඔහුගේ පුත්‍රයන් ද සම්මුඛ මණ්ඩපයේ දොරකඩට ගෙනැවිත් ඔවුන්ට ස්නානය කරන්ට සැලැස්විය යුතු ය.</verse>
				<verse number="13">පසුව ආරොන් පූජක නිලයේ මා හට සේවා කරනු පිණිස ඔහුට ශුද්ධ වස්ත්‍ර හඳවා, ආලේප කොට, කැප කළ යුතු වේ.</verse>
				<verse number="14">මෙසේ කළ පසු ඔහුගේ පුත්‍රයන් ගෙනැවිත් ඔවුන්ට කබා හඳවා</verse>
				<verse number="15">ඔවුන්ගේ පියා ආලේප කළ ලෙස, ඔවුන් ද මා හට පූජක නිලයේ සේවා කරනු පිණිස ආලේප කළ යුතු ය. මෙසේ කිරීමෙන් ඔවුන්ගේ සෑම පරපුරක් තුළ ම ඔවුන් හට සදාතන පූජකවරය දෙනු ඇත.”</verse>
				<verse number="16">සමිඳාණන් වහන්සේ ඔහුට අණ කළ ප්‍රකාරයට ම මෝසෙස් සියල්ල ඉටු කෙළේ ය.</verse>
				<verse number="17">මෙලෙස ඔවුන් මිසර දේශයෙන් නික්ම පැමිණි දෙ වන අවුරුද්දේ පළමු වන මාසයේ පළමු වන දවසේ දී මණ්ඩපය ඉදි කරන ලදී.</verse>
				<verse number="18">මෝසෙස් ද මණ්ඩපය ඉදි කොට, එහි තවු සවි කර, ලෑලි ගසා, හරස් ලී දමා, එහි කුළුණු කෙළින් කෙළේ ය.</verse>
				<verse number="19">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ ලෙස ඔහු මණ්ඩපය මතුපිටින් කූඩාරම අතුරා ඊට උඩින් කූඩාරම් ආවරණය තැබී ය.</verse>
				<verse number="20">පසුව ඔහු දස පණතේ ගල් පුවරු කරඬුවට දමා ගිවිසුම් කරඬුවට පොලු යොදා, එය මත කරුණාසනය තැබී ය.</verse>
				<verse number="21">ඉන්පසු ඔහු සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි ගිවිසුම් කරඬුව මණ්ඩපය තුළට ගෙනැවිත්, තිරය එල්ලා ගිවිසුම් කරඬුව වසාදැමී ය.</verse>
				<verse number="22">මණ්ඩපයේ උතුරු පසට තිරයෙන් පිටත ඔහු සම්මුඛ මණ්ඩපය තුළ මේසය තැබී ය.</verse>
				<verse number="23">පසුව සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔහු මේසය මත සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිදුම් රොටි තැබී ය.</verse>
				<verse number="24">සම්මුඛ මණ්ඩපය තුළ මේසය කෙළින් ම මණ්ඩපයේ දකුණු පසට ඔහු පහන් රුක සිටුවා,</verse>
				<verse number="25">සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි උන් වහන්සේ ඉදිරියෙහි පහන් දැල්විය.</verse>
				<verse number="26">සම්මුඛ මණ්ඩපය තුළ තිරය ඉදිරිපිට රන් පූජාසනය තබා</verse>
				<verse number="27">උන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔහු එය මත සුවඳ ද්‍රව්‍ය දැල්විය.</verse>
				<verse number="28">මණ්ඩපයේ දොරකඩ කඩතුරාව ද එල්ලී ය.</verse>
				<verse number="29">පසුව මෝසෙස් සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දවන යාග පූජාසනය තබා එය මත උන් වහන්සේ අණ කළ පරිදි දවන යාග පූජාව සහ ආහාර පූජාව පිදී ය.</verse>
				<verse number="30">සම්මුඛ මණ්ඩපයත්, පූජාසනයත් අතර ඔහු වතුර භාජනය තබා, පවිත්‍ර කරගන්නා පිණිස එහි වතුර වත් කෙළේ ය.</verse>
				<verse number="31">මෝසෙස් සහ ආරොන් ද ආරොන්ගේ පුත්‍රයෝ ද තම අත් පා එහි සෝදාගත්හ.</verse>
				<verse number="32">ඔව්හු සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට හෝ පූජාසනයට ළඟා වන විට හෝ සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි තමන් සෝදාගත්හ.</verse>
				<verse number="33">ඉන්පසු ඔහු සම්මුඛ මණ්ඩපය හා පූජාසනය වට කර මළුව තනා, මළුවේ දොරකඩ කඩතුරාව එල්ලී ය. මෙලෙස මෝසෙස් කර්මාන්ත සියල්ල නිම කෙළේ ය.</verse>
				<verse number="34">එවිට වලාකුළක් බැස සම්මුඛ මණ්ඩපය වසාගත්තේ ය. මණ්ඩපය සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරයෙන් පිරී ගියේ ය.</verse>
				<verse number="35">වලාකුළ මණ්ඩපය වසාගෙන සිටි බැවිනුත්, සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරයෙන් එය පිරී ගිය බැවිනුත් මෝසෙස්ට ඊට ඇතුළු වීමට නොහැකි විය.</verse>
				<verse number="36">ඉශ්රායෙල් ජනයා කඳවුරින් කඳවුරට යන විට, ඔවුන් පිටත් ව ගියේ වලාකුළ මණ්ඩපයෙන් ඔසවනු ලැබූ විට පමණ ය.</verse>
				<verse number="37">එහෙත්, වලාකුළ ඔසවනු නොලැබූවේ නම් එය ඔසවනු ලබන දින තෙක් ඔව්හු නික්ම නොගියහ.</verse>
				<verse number="38">මුළු ඉශ්රායෙල් සෙනඟ කඳවුරින් කඳවුරට යන විට ඔවුන්ට පෙනෙන පරිදි සම්මුඛ මණ්ඩපය මත, දවල් කාලයේ දී සමිඳාණන් වහන්සේගේ වලාකුළ ද රාත්‍රි කාලයේ දී ගින්න ද දෘශ්‍යමාන විය.</verse>
			</chapter>
		</book>
		<book number="3">
			<chapter number="1">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස් කැඳවා, සම්මුඛ මණ්ඩපයෙන් ඔහු අමතමින්,</verse>
				<verse number="2">“ඉශ්රායෙල් ජනයාට කතා කොට ඔවුන්ට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “නුඹලා අතරෙන් යමෙකු සමිඳාණන් වහන්සේට පූජාවක් ගෙනෙන විට, ඒ සඳහා ගව පට්ටියෙන් හෝ එළු බැටළු පට්ටියෙන් හෝ සතෙකු ගෙන ආ හැකි ය.</verse>
				<verse number="3">ඔහුගේ පූජාව ගව පට්ටියෙන් ගත් දවන යාග පූජාවක් නම්, ඔහු නොකැළැල් පිරිමි සතෙකු ඔප්පු කළ යුතු ය. තවද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගනු ලබන පිණිස ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දී ඌ පිදිය යුතු ය.</verse>
				<verse number="4">ඔහු දවන යාග පූජාව පිණිස ගත් සතාගේ හිස මත අත තැබිය යුතු ය. එවිට ඔහුට පව් කමාව දීම සඳහා ඔහු වෙනුවෙන් ඌ පිළිගනු ලැබේ.</verse>
				<verse number="5">ඔහු ඉන්පසු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සතා මැරිය යුතු ය. එවිට ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන් උගේ ලේ ඔප්පු කොට, ඒ ලෙය සම්මුඛ මණ්ඩපයේ දොරකඩ තිබෙන පූජාසනය පිට හාත්පස ම ඉසිය යුතු ය.</verse>
				<verse number="6">පසුව ඔවුන් දවන යාග පූජාවට ගත් සතා හම ගසා ඌ කෑලිවලට කැපිය යුතු ය.</verse>
				<verse number="7">පූජක ආරොන්ගේ පුත්‍රයන් ද පූජාසනය මත ගිනි දල්වා, ඒ ගිනි පිට පිළිවෙළින් දර තැබිය යුතු ය.</verse>
				<verse number="8">ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන් පූජාසනය මත ඇති ඒ ගිනි පිට, දර උඩ සතාගේ හිස, තෙල ඇතුළු කොටස් පිළිවෙළින් තැබිය යුතු ය.</verse>
				<verse number="9">එහෙත්, උගේ අතුණු ද කකුල් ද වතුරෙන් සෝදා, පූජකවරයා ඒ සියල්ල පූජාසනය මත දැවිය යුතු ය. එවිට ගින්නෙන් දවා පුදන ලද, මේ දවන යාග පූජාව සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වනු ඇත.</verse>
				<verse number="10">“තවද, යමෙක් දවන යාගය සඳහා පට්ටියෙන් ගත් බැටළුවෙකු හෝ එළුවෙකු හෝ පූජාව වශයෙන් ගෙනෙන්නේ නම්, ඌ ද නොකැළැල් පිරිමි සතෙකු විය යුතු ය.</verse>
				<verse number="11">පූජාසනයට උතුරු පැත්තේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඌ මැරිය යුතු ය. ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන් උගේ ලේ ගෙන පූජාසනය පිට හාත්පසින් ඉසිය යුතු ය.</verse>
				<verse number="12">ඉන්පසු ඌ කෑලිවලට කපා, පූජකවරයා උගේ කොටස් ද, හිස හා තෙල ද පූජාසනය මත ඇති ගිනි උඩ, දර පිට පිළිවෙළින් තැබිය යුතු ය.</verse>
				<verse number="13">උගේ අතුණු ද කකුල් ද වතුරෙන් සෝදා, පූජකවරයා ඒ සියල්ල ගෙන පූජාසනය මත දැවිය යුතු ය. ගින්නේ දවා පුදන ලද මේ දවන යාග පූජාව සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වනු ඇත.</verse>
				<verse number="14">“සමිඳාණන් වහන්සේට ඔප්පු කරන දවන යාගය පක්ෂියෙක් නම්, ඌ කොබෙයියෙකු හෝ පරෙවි පැටියෙකු හෝ විය යුතු ය.</verse>
				<verse number="15">පූජකවරයා ද ඌ පූජාසනයේ ඔප්පු කොට, උගේ බෙල්ල කඩා පූජාසනය මත ඌ දැවිය යුතු ය. උගේ ලේ පූජාසනයේ පැත්තකින් ගලා යන්නට හැරිය යුතු ය.</verse>
				<verse number="16">ඉන්පසු ඔහු උගේ ගොදුරු බොක්ක ද පිහාටු ද පහ කොට, ඒවා පූජාසනයේ නැගෙනහිර පැත්තෙන් වූ අළු දමන තැන දැමිය යුතු ය.</verse>
				<verse number="17">පසුව උගේ අත්තටු සමඟ කෑලි දෙකකට වෙන් නොවන සේ ඌ පළා, පූජාසනයේ ගිනි පිට ඇති දර උඩ තබා දැවිය යුතු ය. ගින්නේ දවා පුදන ලද මේ දවන යාගය සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳකි.”</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">“යමෙක් සමිඳාණන් වහන්සේට ධාන්‍ය පූජාවක් ඔප්පු කරන්නේ නම්, ඔහුගේ පූජාව සිහින් පිටිවලින් විය යුතු ය. තවද, එහි තෙල් වත් කොට එය මත තුවරලා ද දැමිය යුතු ය.</verse>
				<verse number="2">පසුව පූජකයන් වන ආරොන්ගේ පුතුන් වෙත ඔහු එය ගෙනා යුතු ය. පූජකවරයා පිටිවලින් හා තෙලින් අතලොස්සක් ද එහි ඇති තුවරලා සියල්ල ද ගෙන පූජාසනය මත එය සිහිවීමේ කොටස වශයෙන් දැවිය යුතු ය. ගින්නෙන් දවා පුදන ලද මේ පූජාව සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳකි.</verse>
				<verse number="3">ධාන්‍ය පූජාවේ ඉතිරි කොටස ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට අයිති වේ. එය සමිඳාණන් වහන්සේට පිදූ දවන පූජාවලින් අතිශුද්ධ කොටස වනු ඇත.</verse>
				<verse number="4">“නුඹ ඇනූ පිටි, උදුනේ පුළුස්සා ධාන්‍ය පූජාවක් වශයෙන් ගෙනෙන්නෙහි නම්, එය සිහින් පිටි කලවම් කළ, තෙල් මිශ්‍ර නුමුහුන් රොටි හෝ තෙල් ගෑ නුමුහුන් තුනී රොටි හෝ විය යුතු ය.</verse>
				<verse number="5">“නුඹේ ධාන්‍ය පූජාව කබලක බදින ලද ඇනූ පිටි නම්, එය නුමුහුන්, තෙල් මිශ්‍ර, සිහින් පිටිවලින් සෑදූ රොටියක් විය යුතු ය.</verse>
				<verse number="6">එය කෑලි කොට කඩා එය මත තෙල් වත් කළ යුතු ය. එය ධාන්‍ය පූජාවක් වනු ඇත.</verse>
				<verse number="7">“නුඹේ පූජාව තාච්චියක පිළියෙළ කළ ධාන්‍ය පූජාවක් නම් එය තෙල් මිශ්‍ර, සිහින් පිටිවලින් සෑදිය යුතු ය.</verse>
				<verse number="8">නුඹ මේවායින් සූදානම් කළ ධාන්‍ය පූජාව සමිඳාණන් වහන්සේ වෙත ගෙනවුත්, එය පූජකවරයාට පිළිගැන්වූ විට ඔහු එය පූජාසනයට ගෙනා යුතු ය.</verse>
				<verse number="9">පූජකවරයා ද එම ධාන්‍ය පූජාවෙන් සිහිවීමේ කොටස ගෙන එය පූජාසනය මත දැවිය යුතු ය. ගින්නෙන් දවා පිදූ එම පූජාව සමිඳාණන් වහන්සේ වෙත නඟින ඉමිහිරි සුවඳකි.</verse>
				<verse number="10">ධාන්‍ය පූජාවෙන් ඉතිරි කොටස ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට අයිති ය. එය සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පිදූ පූජාවලින් අතිශුද්ධ කොටස වේ.</verse>
				<verse number="11">“සමිඳාණන් වහන්සේ වෙත ගෙනෙන කිසි ම ධාන්‍ය පූජාවක් මුහුන් දමා නොසෑදිය යුතු ය. නුඹ සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන කිසි ම පූජාවක මුහුන් හෝ මී පැණි හෝ නොදැමිය යුතු ය.</verse>
				<verse number="12">මේවා නාඹුල් පල පූජාවක් ලෙස සමිඳාණන් වහන්සේට පුද කළ හැකි වුව ද, එය සුමිහිරි සුවඳක් මෙන් නැඟීමට පූජාසනය මත නොදැවිය යුතු ය.</verse>
				<verse number="13">නුඹ ධාන්‍ය පූජාව වශයෙන් පුදන සෑම පූජාවක් ම ලුණු දමා රසවත් කළ යුතු වේ. එසේ කළ යුත්තේ, ලුණු, නුඹ ද සමිඳාණන් වහන්සේ ද අතර ගිවිසුමේ ලකුණක් වනු පිණිස ය. නුඹේ සෑම ධාන්‍ය පූජාවක් සමඟ ම ලුණු ද පුද කළ යුතු ය.</verse>
				<verse number="14">නුඹ නාඹුල් පලවලින් ධාන්‍ය පූජාව පුදන්නෙහි නම්, එම පූජාව වශයෙන්, නුඹ ගින්නෙන් බදින ලද අමු තිරිඟු කරල් හෝ එවැනි කරල්වලින් පොඩි කරන ලද ධාන්‍ය හෝ ගත යුතු ය.</verse>
				<verse number="15">එය මත තෙල් වත් කොට තුවරලා දැමිය යුතු ය. එවිට එය ධාන්‍ය පූජාවක් වනු ඇත.</verse>
				<verse number="16">පොඩි කළ ධාන්‍යවලින් කොටසක් ද තෙලින් කොටසක් ද එහි තුවරලා සියල්ල සමඟ සිහිවීමේ කොටස වශයෙන් පූජකවරයා විසින් දවනු ලැබිය යුතු ය. එය ද ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පිදූ පූජාවකි.”</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">“සහභාගිකමේ පූජාවක් වනු පිණිස යමෙකුගේ පූජාව ගව පට්ටියෙන් ගන්නේ නම්, එම සතා ගොනෙකු හෝ එළදෙනක වූවත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජා කළ යුත්තේ නොකැළැල් සතෙක් ය.</verse>
				<verse number="2">ඔහු පූජාව පිණිස ගත් සතාගේ හිස පිට තම අත තබා සම්මුඛ මණ්ඩපයේ දොරකඩ ළඟ දී ඌ මැරිය යුතු ය. ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන් උගේ ලේ පූජාසනය පිට හාත්පස ම ඉසිය යුතු ය.</verse>
				<verse number="3">තවද, ඔහු සහභාගිකමේ පූජාවෙන් පහත දක්වන කොටස් ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය. ඒ කොටස් නම්, අතුණු වසා ඇති තෙල, අතුණු පිට ඇති තෙල් සියල්ල,</verse>
				<verse number="4">වකුගඩු දෙක හා ඒවා මත තුනටිය පෙදෙසෙහි තිබෙන තෙල සහ වකුගඩු සමඟ අක්මාව පිට ඇති සිවිය ද වේ.</verse>
				<verse number="5">ආරොන්ගේ පුත්‍රයන් ඒවා පූජාසනයේ ගින්න පිට ඇති දර උඩ තබා, දවන යාගය සමඟ දැවිය යුතු ය. ගින්නෙන් දවා පිදූ එම පූජාව සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳකි.</verse>
				<verse number="6">“සමිඳාණන් වහන්සේට පුදන සහභාගිකමේ පූජාව පිණිස යමෙක් තම පූජාව එළු බැටළු රැළෙන් ගන්නේ නම්, ඔහු එය සඳහා නොකැළැල් පිරිමි සතෙකු හෝ ගැහැණු සතෙකු හෝ ඔප්පු කළ යුතු ය.</verse>
				<verse number="7">ඔහු පුදන පූජාව බැටළුවෙක් නම්, ඔහු ඒ සතා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිදිය යුතු ය.</verse>
				<verse number="8">ඔහු තම පූජාව පිණිස ගත් සතාගේ හිස පිට අත තබා, සම්මුඛ මණ්ඩපය ඉදිරියෙහි ඌ මැරිය යුතු ය. පසුව ආරොන්ගේ පුත්‍රයන් උගේ ලේ පූජාසනය පිට හාත්පසින් ඉසිය යුතු ය.</verse>
				<verse number="9">තවද, ඔහු සහභාගිකමේ පූජාවෙන් පහත දක්වන කොටස් ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුද කළ යුතු ය. ඒ කොටස් නම්, උගේ තෙල, පිටකොන්ද ළඟින් කපාගත් මුළු වල්ගය, අතුණු වසා ඇති තෙල්, අතුණු පිට ඇති තෙල් සියල්ල,</verse>
				<verse number="10">වකුගඩු දෙක හා එය පිට තුනටිය ළඟ තිබෙන තෙල සහ වකුගඩු සමඟ අක්මාව පිට ඇති සිවිය ද වේ.</verse>
				<verse number="11">පූජකවරයා ඒවා පූජාසනය මත දැවිය යුතු ය. මෙය ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන ආහාර පූජාවකි.</verse>
				<verse number="12">“යමෙකුගේ පූජාව එළුවෙක් නම්, ඔහු එය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පුද කළ යුතු ය.</verse>
				<verse number="13">ඔහු උගේ හිස මත අත තබා සම්මුඛ මණ්ඩපය ඉදිරියෙහි ඌ මැරිය යුතු ය. පසුව ආරොන්ගේ පුත්‍රයන් උගේ ලේ ගෙන පූජාසනය පිට හාත්පසින් ඉසිය යුතු ය.</verse>
				<verse number="14">තවද, ඔහු එම පූජාවෙන් පහත දක්වන කොටස් ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය. ඒ කොටස් නම්, අතුණු වසා ඇති තෙල, අතුණු පිට ඇති තෙල් සියල්ල,</verse>
				<verse number="15">වකුගඩු දෙක හා ඒවා පිට තුනටිය පෙදෙසෙහි ඇති තෙල සහ වකුගඩු සමඟ අක්මාව පිට ඇති සිවිය ද වේ.</verse>
				<verse number="16">පූජකවරයා ඒවා පූජාසනය මත දැවිය යුතු ය. මේ වනාහි සමිඳාණන් වහන්සේ වෙත සුමිහිරි සුවඳක් නැඟෙන පිණිස ගින්නෙන් දවා පිදූ පූජාවකි. තෙල් සියල්ල සමිඳාණන් වහන්සේට අයිති වේ.</verse>
				<verse number="17">නුඹ තෙල වත්, ලෙය වත් කෑමට නොගත යුතු ය. නුඹ වාසය කරන්නේ කොතැනක වේවා, මෙය නුඹේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි.”</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්,</verse>
				<verse number="2">“ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “යමෙකු අදහස් නොකර, සමිඳාණන් වහන්සේගේ ආඥාවකට විරුද්ධ ව පව් කොට, තහනම් කළ දෙයක් කර යම් පණතක් කඩ කරන්නට පුළුවන. එවිට ඔහු මෙලෙස කළ යුතු ය.”</verse>
				<verse number="3">“ආලේප ලත් පූජකවරයා සෙනඟ පිට වරද පමුණුවමින් පව් කෙළේ නම්, තමා කළ පාපය සඳහා පාප පූජාවක් වශයෙන් නොකැළැල් ගොන් වස්සෙකු සමිඳාණන් වහන්සේ වෙත ගෙනා යුතු ය.</verse>
				<verse number="4">ඔහු ද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සම්මුඛ මණ්ඩපයේ දොරටුව ළඟට ඌ ගෙනවුත් උගේ හිස මත අත තබා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඌ මැරිය යුතු ය.</verse>
				<verse number="5">පසුව ආලේප ලත් පූජකවරයා වස්සාගේ ලේ මඳක් රැගෙන සම්මුඛ මණ්ඩපයට ගෙන ආ යුතු ය.</verse>
				<verse number="6">ඔහු ද තම ඇඟිල්ල ලේවල ගල්වා, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ශුද්ධස්ථානයේ තිරය මත හත් වරක් එය ඉසිය යුතු ය.</verse>
				<verse number="7">ඉන්පසු ඔහු සම්මුඛ මණ්ඩපය තුළ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඇති සුවඳ දුම් පූජාසනයේ අං මත එම ලෙයින් කොටසක් දැමිය යුතු ය. පසුව වස්සාගේ ඉතිරි ලේ සියල්ල ම සම්මුඛ මණ්ඩපයේ දොරකඩ ඇති දවන යාගය පුදන පූජාසනයේ පාමුල වත් කළ යුතු ය.</verse>
				<verse number="8">“තවද, ඔහු පාප පූජාව සඳහා පිදූ වස්සාගේ සියලු තෙල් එනම්, අතුණු වසා තිබූ තෙල හා අතුණු පිට වූ තෙල සම්පූර්ණයෙන් ද</verse>
				<verse number="9">වකුගඩු දෙක හා ඒවා මත තුනටිය පෙදෙසහි ඇති තෙල ද වකුගඩු සමඟ අක්මාව පිට ඇති සිවිය ද අහකට ගත යුතු ය.</verse>
				<verse number="10">සහභාගිකමේ පූජාවට පිදූ ගොනාගේ කොටස් ඉවතට ගත් ලෙස, පූජකවරයා ඒවා ගෙන, දවන යාගය පුදන පූජාසනයේ දැවිය යුතු ය.</verse>
				<verse number="11">ඉන්පසු ඔහු වස්සාගේ සම ද මස් සියල්ල ද හිස ද කකුල් ද අතුණු සහ ගොම ද</verse>
				<verse number="12">යන කොටස් සියල්ල ම කඳවුරෙන් පිටත අළු දමන පවිත්‍ර ස්ථානයකට ගෙන ගොස්, දර පිට තබා ගින්නෙන් දැවිය යුතු ය. මෙලෙස ඌ දැවිය යුත්තේ අළු දමන ස්ථානයක ය.”</verse>
				<verse number="13">“මුළු ඉශ්රායෙල් ජනතාව අදහස් නොකර ද, සභාව නොදැනුවත්ව ද පව් කරමින්, තහනම් දෙයක් කොට සමිඳාණන් වහන්සේගේ යම් කිසි පණතක් කඩ කොට වැරදිකරුවන් වුවහොත්,</verse>
				<verse number="14">ඔවුන් වැරදිකරුවන් වීමට හේතු වූ පාපය දැනගත් කල, පාපය උදෙසා ජනතාව ගොන් වස්සෙකු පුද කොට, සම්මුඛ මණ්ඩපය ඉදිරියට ඌ ගෙනා යුතු ය.</verse>
				<verse number="15">ප්‍රජා මූලිකයන් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඒ වස්සාගේ හිස පිට අත් තබා, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඌ මැරිය යුතු ය.</verse>
				<verse number="16">ආලේප ලත් පූජකවරයා ද වස්සාගේ ලේ මඳක් සම්මුඛ මණ්ඩපයට ගෙනා යුතු ය.</verse>
				<verse number="17">පසුව ඔහු ලේවල තම ඇඟිල්ල ගල්වා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිරය මත හත්වරක් ඉසිය යුතු ය.</verse>
				<verse number="18">ඔහු සම්මුඛ මණ්ඩපය තුළ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඇති සුවඳ දුම් පූජාසනයේ අං මත ලෙයින් කොටසක් දැමිය යුතු ය. පසුව වස්සාගේ ඉතිරි ලේ සියල්ල ම සම්මුඛ මණ්ඩපයේ දොරකඩ ඇති දවන යාගය පුදන පූජාසනයේ පාමුල වත් කළ යුතු ය.</verse>
				<verse number="19">ඔහු උගේ තෙල ද සම්පූර්ණයෙන් ම රැගෙන, පූජාසනය පිට එය දැවිය යුතු ය.</verse>
				<verse number="20">පාප පූජාව සඳහා පිදූ වස්සාට කළ ලෙස ඔහු මේ වස්සාට ද කළ යුතු ය. මෙසේ පූජකවරයා සෙනඟ උදෙසා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ විට, ඔවුන්ගේ පව් කමා කරනු ලැබේ.</verse>
				<verse number="21">ඉන්පසු පූජකවරයා වස්සා කඳවුරෙන් පිටතට ගෙන ගොස්, පළමු වස්සා දැවූ ලෙස මේ වස්සා ද දැවිය යුතු ය. මෙය ජනතාව සඳහා පුදන පාප පූජාවකි.”</verse>
				<verse number="22">“අධිපතියෙකු අදහස් නොකර පව් කරමින්, තම දෙවි සමිඳාණන් වහන්සේගේ පණත්වලින් තහනම් කළ දෙයක් කර, වැරදිකරුවෙකු වී,</verse>
				<verse number="23">තමා කළ පාපය දන්වනු ලැබූ කල, ඔහු තම පූජාව පිණිස එළුවන්ගෙන් නොකැළැල් පිරිමි සතෙකු ගෙනා යුතු ය.</verse>
				<verse number="24">ඔහු ද එළුවාගේ හිස මත තම අත තබා, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දවන යාගයට ගත් සතා මැරූ ස්ථානයෙහි ම ඌ මැරිය යුතු ය. මෙය පාප පූජාවකි.</verse>
				<verse number="25">පසුව පූජකවරයා පාප පූජාවට පිදූ සතාගේ ලෙයින් ටිකක් ඇඟිල්ලෙන් ගෙන දවන යාගය පුදන පූජාසනයේ අං මත දැමිය යුතු ය. ලෙයින් ඉතිරි කොටස දවන යාගය පුදන පූජාසනයේ පාමුල වත් කළ යුතු ය.</verse>
				<verse number="26">ඉන්පසු ඔහු සහභාගිකමේ පූජාවලට පිදූ සතුන්ගේ තෙලට කළ ලෙස, උගේ තෙල සම්පූර්ණයෙන් ම පූජාසනය මත දැවිය යුතු ය. මෙසේ පූජකවරයා ඔහුගේ පාපයට කමා කිරීමේ පිළිවෙත ඉටු කළ පසු එය ඔහුට කමා කරනු ලැබේ.”</verse>
				<verse number="27">“සාමාන්‍ය කෙනෙකු අදහස් නොකර පව් කරමින්, සමිඳාණන් වහන්සේගේ පණතකින් තහනම් වූ දෙයක් කොට වැරදිකාරයෙකු වී,</verse>
				<verse number="28">තමා කළ පාපය දන්වනු ලැබූ පසු, ඔහු තමා කළ පාපය වෙනුවට නොකැළැල් එළුදෙනක පූජාව වශයෙන් ගෙනා යුතු ය.</verse>
				<verse number="29">ඔහු ඒ සතාගේ හිස මත අත තබා, දවන යාග පිදූ ස්ථානයෙහි ම ඌ මැරිය යුතු ය.</verse>
				<verse number="30">ඉන්පසු පූජකවරයා උගේ ලෙයින් ටිකක් තම ඇඟිල්ලෙන් ගෙන දවන යාග පුදන පූජාසනයේ අං මත දැමිය යුතු ය. ඉතිරි ලේ සියල්ල පූජාසනයේ පාමුල වත් කළ යුතු ය.</verse>
				<verse number="31">පසුව සහභාගිකමේ පූජාවලින් තෙල ඉවතට ගත් ලෙස උගේ තෙල ද ඉවතට ගෙන, සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් මෙන් එය පූජාසනය මත දැවිය යුතු ය. මෙසේ පූජකවරයා ඔහු වෙනුවෙන් පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ විට, ඒවා ඔහුට කමා කරනු ලැබේ.</verse>
				<verse number="32">තවද, ඔහු පාප පූජාව සඳහා බැටළුවෙකු ගෙනෙන්නේ නම්, ඌ නොකැළැල් බැටළුදෙනක විය යුතු ය.</verse>
				<verse number="33">ඔහු ඒ සතාගේ හිස පිට අත තබා, පාප පූජාව සඳහා දවන යාග පූජාවට ගත් සතා මැරූ ස්ථානයෙහි ම ඌ මැරිය යුතු ය.</verse>
				<verse number="34">පූජකවරයා ද උගේ ලෙයින් ටිකක් තම ඇඟිල්ලෙන් ගෙන දවන යාගය පුදන පූජාසනයේ අං මත දැමිය යුතු ය. ඉතිරි ලේ සියල්ල පූජාසනයේ පාමුල වත් කළ යුතු ය.</verse>
				<verse number="35">පසුව ඔහු සහභාගිකමේ පූජාවට ගත් බැටළුවාගෙන් තෙල අහකට ගත් ලෙස උගේ තෙල් ද අහකට ගත යුතු ය. ඉන්පසු සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පූජාවක් මෙන් එය පූජාසනය මත දැවිය යුතු ය. මෙලෙස පූජකවරයා ඔහු කළ පාපයන්ට කමා කිරීමේ පිළිවෙත ඉටු කළ විට ඒවා ඔහුට කමා කරනු ලැබේ.”</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">“යමෙක් සාක්ෂිකරුවෙකු වී සිටිය දී උසාවියේ ප්‍රසිද්ධ දිවුරුම් වචන ඇසූ පසුත්, ඒ පිළිබඳ ව තමා දුටු කරුණු හෝ දත් කරුණු හෝ නොදන්වන්නේ නම්, ඔහු ඒ ගැන වගකිව යුතු ය.</verse>
				<verse number="2">යමෙකු නොදැනුවත්කමින් ආගමික පිළිවෙත් අනුව අපවිත්‍ර යයි සැලකෙන හීලෑ සතෙකුගේ, වන සතෙකුගේ හෝ බඩගා යන අපවිත්‍ර සතෙකුගේ මළකඳක් ස්පර්ශ කළොත්, ඔහු එය දැනගත් කල අපවිත්‍ර වී වරදකරුවෙක් වන්නේ ය.</verse>
				<verse number="3">යමෙකු නොදැනුවත්කමින් ආගමික පිළිවෙත් අනුව මනුෂ්‍යයෙකු කෙලෙසන යම්කිසි අපවිත්‍ර දෙයක් ස්පර්ශ කළොත්, ඔහු එය දැනගත් කල වරදකරුවෙක් වන්නේ ය.</verse>
				<verse number="4">යමෙකු නොදැනුවත්කමින් හොඳක් හෝ නපුරක් හෝ කරන්නට වචනයෙන් දිවුරා යමක් ගැන අනිසි ලෙස භාරයක් වුවහොත්, ඔහු එය දැනගත් කල වරදකරුවෙක් වන්නේ ය.</verse>
				<verse number="5">“ඉහත දැක්වූ කරුණුවලින් එකක් ගැන යමෙකු වරදකරුවෙකු වූ කල ඔහු තමා කළ පාපය උච්චාරණය කළ යුතු ය.</verse>
				<verse number="6">තවද, ඔහු තමා වරදකරුවෙකු කළ පාපය වෙනුවට සමිඳාණන් වහන්සේ වෙත වන්දි ගෙවීමේ පූජාවක් පිණිස රැළෙන් ගැහැණු සතෙකු වන එළු පැටියෙකු හෝ බැටළු පැටියෙකු හෝ ගෙනා යුතු ය. පූජකවරයා ද ඔහු කළ පාපයට සමාව අයැදිනු ඇත.</verse>
				<verse number="7">“එළු පැටවියක හෝ බැටළු පැටවියක හෝ ගෙනෙන්නට ඔහුට වත්කම නැත්නම්, ඔහු තමා කළ පාපයට වන්දි ගෙවීමේ පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේ වෙත කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ගෙනා යුතු ය. එකෙක් පාප පූජාවක් වශයෙනි, අනිකා දවන යාග පූජාවක් වශයෙනි.</verse>
				<verse number="8">පූජකවරයා වෙත උන් ගෙනා පසු ඔහු පළමුවෙන් පාප පූජාව ඔප්පු කරමින්, උගේ බොටුව මිරිකා, හිස වෙන් නොකොට</verse>
				<verse number="9">උගේ ලෙයින් ස්වල්පයක් පූජාසනයේ පැත්තට ඉසිය යුතු ය. ඉතිරි ලේ පූජාසනයේ පාමුල වත් කළ යුතු ය. මෙය පාප පූජාවකි.</verse>
				<verse number="10">දෙ වන සතා ද සිරිත් ප්‍රකාර දවන යාග පූජාවක් මෙන් ඔප්පු කළ යුතු ය. මෙලෙස ඒ තැනැත්තා කළ පාපයට පූජකවරයා කමාව අයැදින කල, එය ඔහුට කමා කරනු ලැබේ.</verse>
				<verse number="11">“තවද, ඔහුට කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ගෙනෙන්නට වත්කම නැති නම්, ඔහු තමා කළ පාපය වෙනුවට පාප පූජාවක් වශයෙන් සිහින් පිටි කිලෝග්‍රෑම් එකක් ගෙනා යුතු ය. ඔහු එය මත තෙල් හෝ තුවරලා හෝ නොදැමිය යුතු ය. මන්ද, එය පාප පූජාවකි.</verse>
				<verse number="12">ඔහු පූජකවරයා වෙත එය ගෙනා විට පූජකවරයා එයින් අහුරක් ගෙන, සිහිවීමේ කොටස වශයෙන් ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන පූජාවක් මෙන් එය පූජාසනයේ දැවිය යුතු ය. මෙය පාප පූජාවකි.</verse>
				<verse number="13">මෙලෙස ඉහත දැක්වූ කරුණුවලින් යමකට විරුද්ධ ව යමෙකු කළ පාපයට පූජකවරයා පව් කමාව අයැදින කල එය ඔහුට කමා කරනු ලැබේ. ධාන්‍ය පූජාවෙන් ඉතිරි වූ කොටස මෙන්, මෙයින් ඉතිරි කොටස ද පූජකවරයාට අයිති ය.”</verse>
				<verse number="14">සමිඳාණන් වහන්සේ නැවතත් මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="15">“යමෙකු සමිඳාණන් වහන්සේට දිය යුතු ශුද්ධ දේවල් නොදී, නොදැනුවත්ව වැරැද්දක් කළොත්, ඒ වැරැද්ද වෙනුවට ඔහු සමිඳාණන් වහන්සේ වෙත රැළෙන් නොකැළැල් බැටළුවෙකු ගෙනා යුතු ය. වන්දි ගෙවීමේ පූජාවක් සඳහා ඌ තක්සේරු කළ යුත්තේ, ශුද්ධස්ථානයේ වලංගු කාසි අනුව රිදී කාසි මිලට එකඟ ව ය; මෙය වන්දි ගෙවීමේ පූජාවකි.</verse>
				<verse number="16">ඔහු ශුද්ධ දේ නොදීමෙන් කළ වංචාවට ගෙවිය යුතු වන්දි ගෙවා, තව පහෙන් පංගුවක් ද ඊට එකතු කොට පූජකවරයාට දිය යුතු ය. පූජකවරයා ද වන්දි ගෙවීමේ බැටළුවා පුදමින්, ඒ තැනැත්තාගේ පාපයට කමාව අයැදින කල ඔහුට කමා කරනු ලැබේ.‍</verse>
				<verse number="17">“මෙලෙස යමෙකු සමිඳාණන් වහන්සේගේ ආඥාවලින් තහනම් කරන ලද යමක් නොදැනුවත්කමින් හෝ කළොත්, ඔහු වරදකරුවෙක් වේ, කළ වරද ගැන ඔහු වගකිව යුතු ය.</verse>
				<verse number="18">ඔහු වන්දි ගෙවීමේ පූජාවට තක්සේරු කළ ලෙස රැළෙන් එතරම් වටිනා, නොකැළැල් බැටළුවෙකු පූජකවරයා වෙත ගෙනා යුතු ය. පූජකවරයා ද ඒ තැනැත්තා නොදැනුවත්ව, අදහස් නොකර, කළ දෙයට කමාව අයැදින කල එය ඔහුට කමා කරනු ලැබේ.</verse>
				<verse number="19">එය සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කළ වැරැද්දට පුදන වන්දි ගෙවීමේ පූජාවකි.”</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“යමෙක් තැන්පත් මුදලක් ගැන හෝ ප්‍රවේසමට තබාගැනීමට දුන් දෙයක් ගැන හෝ යම් කෙනෙකු සතු දෙයක් උදුරාගැනීමෙන් හෝ තම අසල්වැසියා රැවටීමෙන් හෝ ඔහුට වංචා කිරීමෙන් හෝ පව් කරමින් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව අපරාධයක් කරන්නේ නම්,</verse>
				<verse number="3">තවද, නැති වූ දෙයක් සම්බ වූ පසු ඒ ගැන බොරු කීමෙන් ද බොරුවට දිවිරීමෙන් ද එවැනි කිසියම් කාරණාවකට අදාළ ව පව් කරන්නේ නම්,</verse>
				<verse number="4">ඔහු මෙලෙස පව් කළ බැවින් වරදකරුවෙක් වන්නේ ය. ඔහු උදුරාගත් දේ ද රැවටීමෙන් ගත් දේ ද ප්‍රවේසමට තබා ගැන්මට දුන් දේ ද නැති වූ පසු සොයා ගත් දේ ද</verse>
				<verse number="5">යමක් ගැන බොරුවට දිවුළ සියල්ල ද ආපසු දිය යුතු ය. ඔහු ගත් දේ සම්පූර්ණයෙන් ම දිය යුතු අතර, ඊට වැඩිමනත් පහෙන් පංගුවක් එකතු කොට දිය යුතු ය. තවද, ඔහු වරදකාරයා වූ දිනයේ දී ම එලෙස සියල්ල අයිතිකරුට දිය යුතු ය.</verse>
				<verse number="6">ඔහු, සමිඳාණන් වහන්සේට වන්දි ගෙවීමේ පූජාව වශයෙන්, රැළෙන් නොකැළැල් බැටළුවෙකු ද පූජකවරයා වෙත ගෙනා යුතු ය. ඌ තක්සේරු කළ යුත්තේ ගෙවිය යුතු වන්දිය අනුව ය.</verse>
				<verse number="7">පූජකවරයා ද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔහුට පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. එවිට ඔහු කළ වරද කුමක් වුව ද එය ඔහුට කමා කරනු ලැබේ.”</verse>
				<verse number="8">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="9">“ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට මෙසේ අණ කරන්න: දවන යාග පූජාව පිළිබඳ නීතිය මෙය වේ; දවන යාග පූජාව මුළු රාත්‍රියෙහි ම උදය දක්වා පූජාසනය මත ගින්න පිට දැවෙමින් තිබිය යුතු ය.</verse>
				<verse number="10">පූජකවරයා හණ පිළි කබාය හැඳගෙන, හණ කලිසමින් තම සිරුර වසාගෙන පූජාසනය මත ගින්නෙන් දවන ලද දවන යාග පූජාවේ අළු ගෙන පූජාසනයේ පැත්තකින් දැමිය යුතු ය.</verse>
				<verse number="11">ඉන්පසු ඔහු තම වස්ත්‍ර ගලවා, වෙන වස්ත්‍ර ලාගෙන කඳවුරෙන් පිටත පවිත්‍ර ස්ථානයකට අළු ගෙන යා යුතු ය.</verse>
				<verse number="12">පූජාසනය මත ගින්න නිවෙන්නට නොහැර එය දැල්වෙමින් ම තිබිය යුතු ය. දිනපතා උදය පූජකවරයා එය මත දර දල්වා, ඊට උඩින් පිළිවෙළට දවන යාග පූජාව තැබිය යුතු ය. ඔහු සහභාගිකමේ පූජාවට ගත් සතාගේ තෙල එහි දැවිය යුතු ය.</verse>
				<verse number="13">ගිනි ද පූජාසනය මත නිවෙන්නට නොහැර නිතර ම දැල්වෙමින් තිබිය යුතු ය.”</verse>
				<verse number="14">“ධාන්‍ය පූජාව පිළිබඳ නීතිය මෙය ය: ආරොන්ගේ පුත්‍රයන්ගෙන් කෙනෙකු පූජාසනය ඉදිරියෙහි සමිඳාණන් වහන්සේට එය පුද කළ යුතු ය.</verse>
				<verse number="15">ඔවුන්ගෙන් කෙනෙකු ධාන්‍ය පූජාවේ පිටිවලින් අහුරක් ද එහි තෙල් ද එය මත ඇති තුවරලා සියල්ල ද ගෙන පූජාසනය මත සිහිවීමේ කොටස දැවිය යුතු ය. එය සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳකි.</verse>
				<verse number="16">ඉන්පසු එහි ඉතිරි කොටස ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් සම්මුඛ මණ්ඩප මළුවේ ශුද්ධ තැනක නුමුහුන් රොටි මෙන් සාදා වැළඳිය යුතු ය.</verse>
				<verse number="17">තවද, එය පිසිය යුත්තේ මුහුන් මිශ්‍ර නොකර ය. ගින්නෙන් දවා, මට පිදූ පූජාවෙන් ඔවුන්ට හිමි කොටස මම ඔවුන්ට දෙමි. පාප පූජාව හා වන්දි ගෙවීමේ පූජාව මෙන් එය අතිශුද්ධ ය.</verse>
				<verse number="18">තවද, ආරොන්ගේ පෙළපතින් පැවතෙන සියලු පිරිමින්ට මෙය වැළඳිය හැකි ය. මෙය වනාහි ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පිදූ පූජා පිළිබඳ ඔබේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි. එය ස්පර්ශ කරන සෑම කෙනෙකු ම ශුද්ධ වනු ඇත.”</verse>
				<verse number="19">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="20">“ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ආලේප කරනු ලබන දිනයේ දී ඔවුන් සමිඳාණන් වහන්සේට පිදිය යුතු පූජාව නම්, සිහින් පිටි කිලෝග්‍රෑම් එකකි. එයින් භාගයක් උදය ද අනිත් භාගය සවස ද නිරන්තර ධාන්‍ය පූජාවක් වශයෙන් පිදිය යුතු ය.</verse>
				<verse number="21">තෙල් මිශ්‍රකොට එය තාච්චියක සූදානම් කළ යුතු ය. එය පිසුවාට පසු, ධාන්‍ය පූජාව මෙන් පිසූ යාග පූජාවේ කැබලි සමිඳාණන් වහන්සේට සුමිහිරි පූජාවක් ලෙස පිදිය යුතු ය.</verse>
				<verse number="22">තවද, ආරොන්ගේ පුත්‍රයන් අතර ආරොන් වෙනුවට ආලේප ලත් පූජකයා ද එය ඔප්පු කළ යුතු ය. මෙය සදහට ම වලංගු නියෝගයකි. එය සම්පූර්ණයෙන් ම දවා සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය.</verse>
				<verse number="23">තවද, පූජකවරයෙකුගේ සියලු ධාන්‍ය පූජා සම්පූර්ණයෙන් ම දැවිය යුතු ය. ඒවා නොවැළඳිය යුතු ය.”</verse>
				<verse number="24">සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා,</verse>
				<verse number="25">“ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “පාප පූජාව පිළිබඳ නීතිය මේ ය: සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දවන යාග පූජාවේ සතා මරන ස්ථානයේ ම පාප පූජාවේ සතා ද මැරිය යුතු ය. එය අතිශුද්ධ ය.</verse>
				<verse number="26">පාප සඳහා එය පුදන පූජකවරයා එය වැළඳිය යුතු ය. තවද, ඔහු එය වැළඳිය යුත්තේ, සම්මුඛ මණ්ඩප මළුවේ ශුද්ධස්ථානයක ය.</verse>
				<verse number="27">එම සතාගේ මාංසයට ස්පර්ශ වන සෑම දෙයක් ම ශුද්ධ වනු ඇත. එයින් ලේ ස්වල්පයක් යම්කිසි වස්ත්‍රයක ගෑවුණොත්, ගෑවුණු වස්ත්‍රය ශුද්ධස්ථානයක සේදිය යුතු ය.</verse>
				<verse number="28">යම්කිසි මැටි බඳුනක එය පිසිනු ලැබුවේ නම්, එම බඳුන බිඳිය යුතු ය. එය පිසිනු ලැබුවේ ලෝකඩ බඳුනක නම්, එම බඳුන මැද, වතුරෙන් සේදිය යුතු ය.</verse>
				<verse number="29">පූජකවරුන් අතර සිටින සියලු පිරිමින්ට එයින් වැළඳිය හැකි ය. එය අතිශුද්ධ ය.</verse>
				<verse number="30">එහෙත්, ශුද්ධස්ථානයේ පව් කමා කිරීමේ පිළිවෙත සඳහා සම්මුඛ මණ්ඩපය තුළට පාප පූජාව පිණිස පිදූ සතාගේ ලේ ගෙනෙනු ලැබුවොත්, එම පූජාවෙන් කිසිවක් නොවැළඳිය යුතු ය. එය ගින්නෙහි දැවිය යුතු ය.”</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">“වන්දි ගෙවීමේ පූජාව පිළිබඳ නීතිය මේ ය: එය අතිශුද්ධ දෙයකි.</verse>
				<verse number="2">දවන යාග පූජාව පිණිස සතා මරන ස්ථානයේ දී වන්දි ගෙවීමේ පූජාව පිණිස ගත් සතා ද මැරිය යුතු ය. පසුව උගේ ලේ පූජාසනය පිට හාත්පසින් ඉසිය යුතු ය.</verse>
				<verse number="3">උගේ තෙල සම්පූර්ණයෙන් ම ද එනම්, උගේ වල්ගය ද අතුණු වසා ඇති තෙල ද</verse>
				<verse number="4">වකුගඩු දෙක ද ඒවා මත තුනටිය ළඟ ඇති තෙල ද අක්මාව පිට සිවිය ද වකුගඩු සමඟ ඉවතට ගත යුතු ය.</verse>
				<verse number="5">පූජකවරයා ඒවා පූජාසනය මත ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන පූජාවක් මෙන් ඔප්පු කළ යුතු ය. මෙය වන්දි ගෙවීමේ පූජාවකි.</verse>
				<verse number="6">පූජකවරුන් අතර සිටින සෑම පිරිමියෙකුට ම ඉන් වැළඳිය හැකි ය. එය වැළඳිය යුත්තේ ද ශුද්ධස්ථානයක ය. එය අතිශුද්ධ දෙයකි.</verse>
				<verse number="7">“පාප පූජාවට වලංගු නීතිය වන්දි ගෙවීමේ පූජාවට ද වලංගු වේ. පූජා ඔප්පු කරන පූජකවරයාට ඒවා අයිති ය.</verse>
				<verse number="8">යමෙකුගේ දවන යාග පූජාව පුදන පූජකවරයාට, ඔහු පිදූ සතාගේ හම අයිති ය.</verse>
				<verse number="9">උදුනක පිසූ ධාන්‍ය පූජාව මුළුමනින් ද කබලක හෝ තාච්චියක හෝ පිළියෙළ කළ සියල්ල ද පිදූ පූජකවරයාට අයිති ය.</verse>
				<verse number="10">තෙල් මිශ්‍ර සහ අමිශ්‍ර ධාන්‍ය පූජා සියල්ල ම ආරොන්ගේ පුත්‍රයන් සියලු දෙනා සම සේ බෙදාගත යුතු ය.”</verse>
				<verse number="11">“සමිඳාණන් වහන්සේට පිදිය යුතු සහභාගිකමේ පූජා පිළිබඳ නීතිය මේ ය:</verse>
				<verse number="12">යමෙක් ස්තුති දීමක් වශයෙන් එය පුදන්නේ නම්, ස්තුති දීමේ පූජාවක් සමඟ තෙල් මිශ්‍ර නුමුහුන් රොටි ද තෙල් ගෑ නුමුහුන් රොටි පෙති ද සිහින් පිටිවලින් බදින ලද තෙල් මිශ්‍ර රොටි ද පුද කළ යුතු ය.</verse>
				<verse number="13">තවද, රොටි සමඟ මුහුන් මිශ්‍ර රොටි ද තම පූජාවට එකතු කොට සහභාගිකමේ පූජාව සමඟ ස්තුති පූජාවක් වශයෙන් පුද කළ යුතු ය.</verse>
				<verse number="14">ඔහු සෑම රොටි වර්ගවලින් ම එක් කොටසක් බැගින් විශේෂ පඬුරක් වශයෙන් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය. එය සහභාගිකමේ පූජාවට පිදූ සතාගේ ලේ ඉසින පූජකවරයාට අයිති ය.</verse>
				<verse number="15">ස්තුති දීම සඳහා සහභාගිකමේ පූජාව වශයෙන් පුදන සතාගේ මාංසය ඌ පුදන දවසේ දී ම වැළඳිය යුතු ය. ඉන් කිසිවක් පසුදින උදය දක්වා නොතැබිය යුතු ය.</verse>
				<verse number="16">“එහෙත්, පූජා කරන සතා පුදන්නේ භාරයක් හෝ ස්වේච්ඡා පූජාවක් හෝ වශයෙන් නම්, ඔහු එය පුදන දවසේ දී වැළඳිය යුතු ය. ඉන් ඉතිරි කොටස පසුදින ද වළඳන්නට පුළුවන.</verse>
				<verse number="17">එහෙත් ඌගේ මාංසයෙන් ඉතිරි වන කොටස තුන් වන දවසේ දී ගින්නේ දැවිය යුතු ය.</verse>
				<verse number="18">එහෙත්, යමෙකු සහභාගිකමේ පූජාව වශයෙන් පුදන සතාගේ මාංසය තුන් වන දවසේ දී වැළඳුවහොත්, ඔහුගේ පූජාව නොපිළිගනු ලැබේ. පූජාව පුදන තැනැත්තාට එයින් වන ආනිශංසයක් නැත. එය පිළිකුලක් වනු ඇත. එයින් වළඳන තැනැත්තා එය ගැන වගකිව යුතු ය.</verse>
				<verse number="19">අපවිත්‍ර යමකට ස්පර්ශ වන ඒ මාංසය නොවැළඳිය යුතු අතර එය ගින්නේ දැවිය යුතු ය. “ඉතිරි මාංසය ආගමික චාරිත්‍ර අනුව පවිත්‍ර ව සිටින සෑම කෙනෙකුට ම වැළඳිය හැක.</verse>
				<verse number="20">එහෙත්, ආගමික චාරිත්‍ර අනුව අපවිත්‍ර යයි සැලකෙන යමෙකු සහභාගිකමේ පූජාව වශයෙන් පිදූ සතාගේ මාංසය කෑවහොත්, ඔහු තම සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.</verse>
				<verse number="21">තවද, යමෙකු මනුෂ්‍යයෙකුගේ හෝ මෘගයෙකුගේ හෝ ආගමික චාරිත්‍ර අනුව අපවිත්‍ර යයි සැලකෙන යමක් හෝ පිළිකුල් අපවිත්‍ර දෙයක් හෝ ස්පර්ශ කොට, සහභාගිකමේ පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේට පුදන ලද සතෙකුගේ මාංස වැළඳුවහොත්, ඔහු සිය සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.”</verse>
				<verse number="22">සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්,</verse>
				<verse number="23">“ඉශ්රායෙල් ජනතාවට කතා කොට මෙසේ කියන්න, ‘නුඹලා ගවයෙකුගේ හෝ බැටළුවෙකුගේ හෝ එළුවෙකුගේ හෝ තෙල කෑමට නොගත යුතු ය.</verse>
				<verse number="24">ස්වාභාවික ලෙස මැරුණු සතෙකුගේ හෝ වන මෘගයෙකු විසින් ඉරාදමනු ලබන සතෙකුගේ හෝ තෙල කිසි සේත් නොකෑ යුතු ය. එහෙත්, එය යම්කිසි ප්‍රයෝජනයකට ගත හැකි ය.</verse>
				<verse number="25">මිනිසුන් විසින් ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන ලද සතෙකුගේ තෙල යමෙක් කන්නේ ද, ඔහු සිය සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.</verse>
				<verse number="26">නුඹ වසන කිසිම තැනක පක්ෂියෙකුගේ වේවා, මෘගයෙකුගේ වේවා ලේ කෑමට නොගත යුතු ය.</verse>
				<verse number="27">යමෙක් ලේ කෑමට ගන්නේ ද ඔහු සිය සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ ය’ ”යි වදාළ සේක.</verse>
				<verse number="28">නැවතත් සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා,</verse>
				<verse number="29">“ඉශ්රායෙල් ජනතාවට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “යමෙක් සහභාගිකමේ පූජාවක් සමිඳාණන් වහන්සේට ඔප්පු කරන්නේ ද, ඔහු ඉන් කොටසක් දීමනාවක් වශයෙන් සමිඳාණන් වහන්සේ වෙත ගෙනා යුතු ය.</verse>
				<verse number="30">ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන පූජාව ඔහු සිය අතින් ම ගෙනා යුතු ය. ඔහු සතාගේ ළපැත්ත සමඟ තෙල ද ගෙනවුත්, එයින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.</verse>
				<verse number="31">පූජකවරයා පූජාසනය මත තෙල දැවිය යුතු ය. සතාගේ ළපැත්ත ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට අයිති වේ.</verse>
				<verse number="32">සහභාගිකමේ පූජාවේ විශේෂ පඬුරක් වශයෙන් සතාගේ දකුණු ගාතය නුඹ පූජකවරයාට දිය යුතු ය.</verse>
				<verse number="33">ආරොන්ගේ පුත්‍රයන් අතරෙන් සහභාගිකමේ පූජාවේ සතාගේ ලෙය සහ තෙල පුදන තැනැත්තාට තම කොටස වශයෙන් දකුණු ගාතය හිමි වේ.</verse>
				<verse number="34">මෙලෙස මම ඉශ්රායෙල් ජනයාගේ සහභාගිකමේ පූජා පඬුරුවලින් පිළිගැන්වීමේ පිළිවෙත කළ සතුන්ගේ ළපැත්ත සහ විශේෂයෙන් පිදූ දකුණු ගාතය පූජක ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට දෙමි. මෙය ඉශ්රායෙල් ජනයා අතර සදහට ම වලංගු නියෝගයකි.”</verse>
				<verse number="35">ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පූජක නිල තනතුරේ සමිඳාණන් වහන්සේට සේවය කරනු පිණිස ඉදිරිපත් කොට, ඔවුන් ආලේප කළ දවසේ දී ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන පූජාවලින් ඔවුන්ට හිමි කොටස මෙය වේ.</verse>
				<verse number="36">මෝසෙස් ඔවුන් ආලේප කරන දවසේ දී ඉශ්රායෙල් ජනයා ඔවුන්ට දිය යුතු ලෙස සමිඳාණන් වහන්සේ ඔවුන්ට අණ කළ දේ මේ ය. තවද, මෙය ඔවුන්ගේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි.</verse>
				<verse number="37">දවන යාග පූජාව හා ධාන්‍ය පූජාව ද පාප පූජාව හා වන්දි ගෙවීමේ පූජාව ද ආලේප කිරීමේ හා සහභාගිකමේ පූජාව ද පිළිබඳ නීතිය මේ ය.</verse>
				<verse number="38">සීනයි පාළුකරයේ සීනයි කන්ද මත සමිඳාණන් වහන්සේට පූජා පිදීමට ඉශ්රායෙල් ජනයාට මෝසෙස් නියම කළ දවසේ දී උන් වහන්සේ ඔහුට අණ කෙළේ එසේ ය.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,</verse>
				<verse number="2">“ආරොන් සහ ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන් ද පූජක වස්ත්‍ර සහ ආලේප තෛලය ද පාප පූජාව සඳහා වස්සෙකු ද බැටළුවන් දෙදෙනෙකු ද නුමුහුන් රොටි පැස ද ගෙන</verse>
				<verse number="3">මුළු ජනතාව සම්මුඛ මණ්ඩපයේ දොරටුව ළඟ රැස් කරවන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="4">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔහු ඉටු කළ විට, මුළු සභාව සම්මුඛ මණ්ඩපයේ දොරටුව ළඟ රැස්වූ හ.</verse>
				<verse number="5">එවිට ඔහු ජනතාව අමතමින්: “සමිඳාණන් වහන්සේ ඉටු කිරීමට අණ කළ දේ මේ ය”යි කී ය.</verse>
				<verse number="6">ඉන්පසු ඔහු ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් කැඳවා ඔවුන් නෑවුවේ ය.</verse>
				<verse number="7">පසුව මෝසෙස් ඔහුට කබාය හඳවා, ඉඟපටිය බැඳ, සළුව පළඳවා, ඒපොද් නම් සැට්ටය ඔහු පිට දමා, එම සැට්ටයේ ගෙත්තම් කළ පටියෙන් ඔහු ඉණ වටකර බැඳ එය සවි කෙළේ ය.</verse>
				<verse number="8">ඉන්පසු ළය වැස්ම ද ඔහුට පළඳවා එය තුළ ඌරිම් සහ තුම්මිම් යන පස ඇට දැමී ය.</verse>
				<verse number="9">ඔහුගේ හිස මත මකුටය ද ඊට උඩින් ඉදිරියෙන් රන් තහඩුව වන ශුද්ධ කිරීටය ද සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි තැබුවේ ය.</verse>
				<verse number="10">ඉන්පසු මෝසෙස් ආලේප තෛලය ගෙන මණ්ඩපයත්, එය තුළ වූ සියල්ලත් ආලේප කොට කැප කෙළේ ය.</verse>
				<verse number="11">ඔහු ඒ තෛලය පූජාසනය මත හත්වරක් ඉස, පූජාසනය ද එහි සියලු උපකරණ ද වතුර භාජන හා එහි අඩිය ද ආලේප කොට කැප කෙළේ ය.</verse>
				<verse number="12">පසුව ඔහු ආලේප තෛලය ආරොන්ගේ හිස මත වත් කොට ඔහු කැප කරමින් ආලේප කෙළේ ය.</verse>
				<verse number="13">එවිට ඔහු ආරොන්ගේ පුත්‍රයන් ද කැඳවා සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි, ඔවුන්ට කබා හඳවා, ඉඟ පටි බැඳ හිස් වැසුම් පැළඳවී ය.</verse>
				<verse number="14">ඔහු ද පාප පූජාවට පුදන වස්සා ගෙනා කල, ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ එම වස්සාගේ හිස මත තම අත් තැබූ හ.</verse>
				<verse number="15">ඉන්පසු මෝසෙස් ඌ මරා, උගේ ලේ ගෙන, තම ඇඟිල්ලෙන් පූජාසනය වටේට තිබූ අං මත එය තවරා, පූජාසනයේ දොස් පහකොට, එහි පාමුල ඉතිරි ලේ වත් කොට එය මත පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කරමින් එය කැප කෙළේ ය.</verse>
				<verse number="16">පසුව ඔහු සතාගේ අතුණු මත තිබූ තෙල සම්පූර්ණයෙන් ද අක්මාව වසා තිබූ සිවිය ද වකුගඩු දෙක සමඟ ඒවායේ තෙල ද ගෙන පූජාසනය මත දැවී ය;</verse>
				<verse number="17">එහෙත්, සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි ගවයාගේ ඉතිරි කොටස් වන උගේ හම සහ මාංසය ද ගොම ද කඳවුරෙන් පිටත ගින්නේ දැවී ය.</verse>
				<verse number="18">ඉන්පසු ඔහු දවන යාග පූජාව සඳහා බැටළුවා ගෙනා විට ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ උගේ හිස මත තම අත් තැබූ හ.</verse>
				<verse number="19">මෝසෙස් ද ඌ මරා උගේ ලේ පූජාසනය පිට හාත්පසින් ඉස්සේ ය.</verse>
				<verse number="20">ඉන්පසු ඔහු ඌ කෑලිවලට කපා, උගේ හිස ද කෑලි සහ තෙල ද ගින්නේ දැවී ය.</verse>
				<verse number="21">ඔහු සතාගේ අතුණු හා කකුල් වතුරෙන් සෝදා සතා මුළුමනින් ම පූජාසනය මත දැවී ය. එය වනාහි සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ගින්නෙන් දවා, සමිඳාණන් වහන්සේට පුදන සුමිහිරි සුවඳක් සහිත දවන යාග පූජාවකි.</verse>
				<verse number="22">පූජකයන් කැප කිරීමේ දී පුදන අනික් බැටළුවා ගෙනා කල, උගේ හිස මත ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ තම අත් තැබූ හ.</verse>
				<verse number="23">මෝසෙස් ද ඌ මරා, උගේ ලේ ගෙන, ආරොන්ගේ දකුණු කන්පෙත්තෙහි ද දකුණතේ මාපටැඟිල්ලේ ද දකුණු පයේ මාපටැඟිල්ලේ ද තැවරී ය.</verse>
				<verse number="24">පසුව ඔහු ආරොන්ගේ පුත්‍රයන් කැඳවා ඔවුන්ගේ දකුණු කන් පෙතිවල ද දකුණතේ මාපටැඟිලිවල ද දකුණු පාදයේ මාපටැඟිලිවල ද ලේ තැවරී ය. ඉතිරි ලේ පූජාසනය පිට හාත්පසින් ඉස්සේ ය.</verse>
				<verse number="25">ඉන්පසු ඔහු සතාගේ තෙල ද එනම්, තර වල්ගය ද අතුණු මත තිබූ තෙල මුළුමනින් ම ද අක්මාව පිට ඇති සිවිය ද වකුගඩු දෙක හා ඒවායේ තෙල ද දකුණු ගාතය ද ගත්තේ ය.</verse>
				<verse number="26">පසුව සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිබූ නුමුහුන් රොටි පැසෙන් එක නුමුහුන් රොටියක් ද තෙල් මිශ්‍ර රොටියක් ද එක තුනී රොටි පෙත්තක් ද ගෙන ඔහු ඒවා සතාගේ තෙල හා දකුණු ගාතය මත තබා</verse>
				<verse number="27">මේ සියල්ල ම ආරොන්ගේ හා ඔහුගේ පුතුන්ගේ අත්වලට දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කෙරෙව්වේ ය.</verse>
				<verse number="28">මෙසේ කළ පසු, මෝසෙස් ඒවා ඔවුන්ගේ අත්වලින් ගෙන පූජාසනයේ දවන යාග පූජාව මත දැවී ය. එය වනාහි ගින්නෙන් දවා, සමිඳාණන් වහන්සේට පුදන සුමිහිරි සුවඳැති කැප කිරීමේ පූජාවකි.</verse>
				<verse number="29">ඉන්පසු මෝසෙස් සතාගේ ළපැත්ත ගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කෙළේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට අණ කළ පරිදි, එය වනාහි කැප කිරීමේ බැටළුවාගෙන් මෝසෙස්ට හිමි කොටස වේ.</verse>
				<verse number="30">ඉන්පසු මෝසෙස් ආලේප තෛලයෙන් හා පූජාසනය මත වූ ලෙයින් ස්වල්පයක් ගෙන ආරොන් හා ඔහුගේ වස්ත්‍ර මත ද ඔහුගේ පුත්‍රයන් හා ඔවුන්ගේ වස්ත්‍ර මත ද ඉස, ආරොන් සහ ඔහුගේ වස්ත්‍ර ද ඔහුගේ පුත්‍රයන් හා ඔවුන්ගේ වස්ත්‍ර ද කැප කෙළේ ය.</verse>
				<verse number="31">එවිට මෝසෙස් ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට කතා කොට, මා අණ කළ පරිදි, “සම්මුඛ මණ්ඩපයේ දොරකඩ ඒ මාංස තම්බා, ‘ආරොන් සහ ඔහුගේ පුතුන් එය වැළඳිය යුතු ය’ කියා එහි දී කැප කිරීමට ගත් පැසේ ඇති රොටි සමඟ වළඳන්න.</verse>
				<verse number="32">තවද, මස්වලින් හා රොටිවලින් ඉතිරි වන කොටස ගින්නේ දැවිය යුතු ය.</verse>
				<verse number="33">කැප කිරීමේ දින ගණන අවසාන වන තෙක්, දින හතක් ඔබ සම්මුඛ මණ්ඩපයේ දොරටුවෙන් පිටතට නොයා යුතු ය. ඒ සඳහා දින හතක් ගත වේ.</verse>
				<verse number="34">අප මෙදින කළ ලෙස ඔබේ පාපවලට කමාව අයැදිනු පිණිස සමිඳාණන් වහන්සේ මෙසේ කිරීමට අණ කළ සේක.</verse>
				<verse number="35">එබැවින් ඔබ දිවා රෑ, හත්දිනක් සම්මුඛ මණ්ඩපයේ දොරටුව ළඟ සමිඳාණන් වහන්සේගේ අණ පිළිපදිමින් නැවතී සිටිය යුතු ය. එලෙස නොකළොත්, ඔබ නසින්නහු ය. මක්නිසා ද උන් වහන්සේ මට එසේ අණ කළ සේකැ”යි කීවේ ය.</verse>
				<verse number="36">මෙලෙස ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් අණ කළ සියල්ල ඉටු කළහ.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">අට වන දින මෝසෙස්, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ද ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් ද කැඳවී ය.</verse>
				<verse number="2">ඔහු ආරොන්ට කතා කොට, “පාප පූජාවක් සඳහා නොකැළැල් ගොන් වස්සෙකු ද දවන යාග පූජාවක් සඳහා නොකැළැල් බැටළුවෙකු ද ගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔප්පු කරන්න.</verse>
				<verse number="3">තවද, ඔබ ඉශ්රායෙල් ජනයාට කතා කොට, ‘පාප පූජාවක් සඳහා නොකැළැල් එළුවෙකු ද දවන යාග පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති නොකැළැල් වස්සෙකු හා බැටළුවෙකු ද</verse>
				<verse number="4">සහභාගිකමේ පූජාවක් සඳහා ගවයෙකු හා බැටළුවෙකු ද ගන්න. මේ සියල්ල ම තෙල් මිශ්‍ර ධාන්‍ය පූජාවක් සමඟ සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය’යි කියන්න. ඒ මන්ද, අද සමිඳාණන් වහන්සේ ඔබ හැමට දර්ශනය වන සේකැ”යි කීවේ ය.</verse>
				<verse number="5">මෝසෙස් අණ කළ දේ ඔව්හු සම්මුඛ මණ්ඩපය ඉදිරිපිටට ගෙනා හ. මුළු ජනතාව ම ළං වී සමිඳාණන් වහන්සේ ඉදිරිපිට සිටගත්හ.</verse>
				<verse number="6">එවිට මෝසෙස් කතා කොට, “සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය ඔබ ඉදිරියෙහි දර්ශනය වන පිණිස කරන්නට උන් වහන්සේ ඔබට අණ කළ දේ මේ ය”යි කී ය.</verse>
				<verse number="7">ඉන්පසු ඔහු ආරොන් අමතා, “පූජාසනයට ළඟා වී, ඔබ උදෙසා ද සෙනඟ උදෙසා ද පව් කමාව අයැදිමින් ඔබේ පාප පූජාව සහ දවන යාග පූජාව පුදන්න. සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි සෙනඟගේ පූජා පුදා ඔවුන් උදෙසා පව් කමාව අයැදින්නැ”යි කීවේ ය.</verse>
				<verse number="8">ආරොන් ද එවිට පූජාසනයට ළඟා වී තමාගේ පාප උදෙසා පාප පූජාවේ වස්සා මැරී ය.</verse>
				<verse number="9">ආරොන්ගේ පුත්‍රයන් ද වස්සාගේ ලෙය ඔහු වෙත ගෙනා විට, ඔහු එහි තම ඇඟිල්ල ගල්වා පූජාසනයේ අං පිට තවරා, ඉතිරි ලෙය පූජාසනයේ පාමුල වත් කෙළේ ය.</verse>
				<verse number="10">එහෙත්, පාප පූජාවට පිදූ සතාගේ තෙල ද වකුගඩු ද අක්මාව මත තිබූ සිවිය ද සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔහු පූජාසනය මත දැවී ය.</verse>
				<verse number="11">එහෙත්, වස්සාගේ මාංසය සහ හම කඳවුරෙන් පිටත ගින්නේ දැවී ය.</verse>
				<verse number="12">ඉන්පසු ආරොන් දවන යාග පූජාවේ සතා ද මැරූ විට, ඔහුගේ පුත්‍රයන් ඔහුට උගේ ලේ දුන් පසු, ඔහු ද පූජාසනය වටා හාත්පසින් එය ඉස්සේ ය.</verse>
				<verse number="13">එවිට ඔවුන් දවන යාග පූජාව හිසත් ඇතුළු ව කොටස් වශයෙන් දුන් කල, ඔහු ඒවා පූජාසනය මත දැවී ය.</verse>
				<verse number="14">ඉන්පසු ඔහු ඒ සතාගේ අතුණු සහ කකුල් සෝදා පූජාසනයේ දවන යාග පූජාව මත ඒවා දැවී ය.</verse>
				<verse number="15">ඉක්බිති ඔහු සෙනඟගේ පූජා පිළිගන්වමින්, සෙනඟගේ පාප පූජාව වන එළුවා ගෙන, ඌ මරා, කලින් කළ පාප පූජාව මෙන් එය පුද කෙළේ ය.</verse>
				<verse number="16">එවිට දවන යාග පූජාව ද ගෙන, නියම පිළිවෙත අනුව ඔහු එය ද පුද කෙළේ ය.</verse>
				<verse number="17">ඉන්පසු ඔහු ධාන්‍ය පූජාව පිළිගන්වමින් එයින් පුරා අහුරක් රැගෙන උදය කාලයේ පිදූ දවන යාග පූජාවට අමතර ව එය පූජාසනය මත දැවී ය.</verse>
				<verse number="18">පසුව ඔහු සෙනඟ උදෙසා වූ සහභාගිකමේ පූජාව වන ගවයා සහ බැටළුවා ද මැරී ය. ආරොන්ගේ පුත්‍රයන් ඔහුට උන්ගේ ලේ පිළිගැන්වූ විට ඔහු එය පූජාසනය පිට හාත්පසින් ඉස්සේ ය.</verse>
				<verse number="19">ගවයාගේ හා බැටළුවාගේ තෙල ද එනම්, වල්ගා ද අතුණු වැසි තෙල ද වකුගඩු ද අක්මාව පිට ඇති සිවිය ද ගෙන</verse>
				<verse number="20">ඒ සියල්ල ළපැත්ත උඩ තබා පූජාසනය මත ඒ තෙල දැවී ය.</verse>
				<verse number="21">පසුව මෝසෙස්ට අණ කළ පරිදි ඔහු ළපැත්ත සහ දකුණු ගාතය ගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කෙළේ ය.</verse>
				<verse number="22">ඉන්පසු ආරොන් සෙනඟ දෙසට තම අත ඔසවා ඔවුන්ට ආශීර්වාද කොට පාප පූජාව, දවන යාග පූජාව සහ සහභාගිකමේ පූජාව පුදා එම ස්ථානයෙන් බැස ආවේ ය.</verse>
				<verse number="23">මෝසෙස් ද ආරොන් ද සම්මුඛ මණ්ඩපයට ඇතුළු වී පිටතට අවුත් සෙනඟට ආශීර්වාද කළහ. එවිට සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය ද සියලු සෙනඟට දර්ශනය විය.</verse>
				<verse number="24">සමිඳාණන් වහන්සේ ඉදිරියෙන් ගින්නක් නික්ම පූජාසනය මත වූ දවන යාග පූජාව සහ තෙල දවා හැරියේ ය. මෙය දුටු සියලු සෙනඟ හඬ නඟා මුණින්තළා වැටුණා හ.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">ආරොන්ගේ පුත්‍රයන් වන නාදබ් සහ අබිහු තම තමන්ගේ ධූම පාත්‍ර ගෙන, ඒවායේ ගිනි බහා, ඒවා මත සුවඳ ද්‍රව්‍ය දමා, සමිඳාණන් වහන්සේ නියම නොකළ නීති විරෝධී ගිනි උන් වහන්සේට පුද කළහ.</verse>
				<verse number="2">එවිට සමිඳාණන් වහන්සේගෙන් ගින්නක් නික්ම, ඔවුන් දවා හැරියෙන් ඔව්හු උන් වහන්සේ ඉදිරියෙහි මළහ.</verse>
				<verse number="3">එවිට මෝසෙස් ආරොන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේ වදාළ දේ මේ ය: ‘මට ළඟා වන්නන් මඟින් මාගේ ශුද්ධ බව පාන්නෙමි. සියලු ජනතාව අබිමුව මම මාගේ මහිමාලංකාරය දක්වන්නෙමි’ ”කීවේ ය. ආරොන් ද නිහඬ විය.</verse>
				<verse number="4">එවිට මෝසෙස්, ආරොන්ගේ බාප්පා වූ උශ්ශියෙල්ගේ පුත්‍රයන් වන මිෂායෙල් සහ එල්ශාපාන් කැඳවා, ඔවුන්ට කතා කොට, “මෙහි අවුත්, ඔබේ සහෝදරයන් ශුද්ධස්ථානය ඉදිරිපිටින් උසුලාගෙන ගොස් කඳවුරෙන් පිටත දමන්නැ”යි කී ය.</verse>
				<verse number="5">එවිට ඔව්හු ළං වී, මෝසෙස් කී ලෙස ඔවුන්ගේ වස්ත්‍ර පිටින් ම කඳවුරෙන් පිටතට ඔවුන් ගෙන ගියහ.</verse>
				<verse number="6">ඉන්පසු මෝසෙස් ආරොන්ට ද ඔහුගේ පුත්‍රයන් වන එලෙයාසර්ට සහ ඊතාමාර්ට ද කතා කොට, “ඔබ කණගාටුව දැක්වීමට ඔබේ හිසකෙස් අවුල් කර නොගන්න, ඔබේ වස්ත්‍ර ඉරා නොගන්න. ඔබ එසේ කළොත් නසින්නහු ය, සමිඳාණන් වහන්සේ ද මුළු ජනතාව සමඟ කිපෙන සේක. එහෙත්, ඔබේ ඥාතීන් වන මුළු ඉශ්රායෙල් ජනයා නම්, සමිඳාණන් වහන්සේ එවන්නට සැලැසූ ගින්න ගැන වැළපිය යුතු වේ.</verse>
				<verse number="7">ඔබ සම්මුඛ මණ්ඩපයේ දොරටුවෙන් පිටත නොයා යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේගේ ආලේප තෛලය ඔබ පිට ඇති බැවින් ඔබ මැරෙන්නට පුළුවනැ”යි කීවේ ය. ඔව්හු මෝසෙස් කී ලෙස කළහ.</verse>
				<verse number="8">සමිඳාණන් වහන්සේ ආරොන්ට කතා කොට,</verse>
				<verse number="9">“නුඹ සහ නුඹ සමඟ නුඹේ පුත්‍රයන් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට මුද්‍රික පානය හෝ මත් පැන් හෝ පානය නොකරන්න. එසේ කළොත් නුඹ මැරෙන්නට පුළුවන. මෙය නුඹේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි.</verse>
				<verse number="10">නුඹ කැප කළ දේවලින් අකැප දේ ද සම්මත පරිදි අපවිත්‍ර දෙයින් පවිත්‍ර දේ ද වෙන් කළ යුතු ය.</verse>
				<verse number="11">තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් ඉශ්රායෙල් ජනයාට වදාළ සියලු ම නීති නියෝග නුඹ ඔවුන්ට ඉගැන්විය යුතු ය”යි වදාළ සේක.</verse>
				<verse number="12">මෝසෙස් ආරොන්ට ද ඉතිරි ව සිටි ඔහුගේ පුත්‍රයන් වන එලෙයාසර්ට හා ඊතාමාර්ට ද කතා කොට, “සමිඳාණන් වහන්සේට ගින්නේ දවා පිදූ පූජාවලින් ඉතිරි වූ ධාන්‍ය පූජාව ගෙන, පූජාසනය ළඟ දී, මුහුන් නොදමා එය වළඳන්න. එය අතිශුද්ධ ය.</verse>
				<verse number="13">එය ශුද්ධස්ථානයක වැළඳිය යුතු ය. සමිඳාණන් වහන්සේට ගින්නේ දවා පිදූ පූජාවලින් ඔබට හා ඔබේ පුත්‍රයන්ට හිමි කොටස එය වේ. මට අණ කරන ලද්දේ එලෙස ය.</verse>
				<verse number="14">ඔබ ද ඔබේ පුත්‍රයන් හා දූවරුන් ද පිළිගැන්වීමේ පිළිවෙතින් පිදූ ළපැත්ත හා විශේෂයෙන් පිදූ ගාතය ශුද්ධස්ථානයක දී වැළඳිය යුතු ය. මන්ද, ඒවා ඉශ්රායෙල් ජනයාගේ සහභාගිකමේ පූජාවලින් ඔබට හා ඔබේ පුතුන් හට දුන් කොටස වේ.</verse>
				<verse number="15">තෙල ගින්නේ දවා ඔප්පු කරන විට පිළිගැන්වීමේ පිළිවෙතින් පිදූ ළපැත්ත හා විශේෂයෙන් පිදූ ගාතය ඔවුන් ගෙනා යුතු ය. සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කළ පසු ඒවා ඔබටත්, ඔබ සමඟ ඔබේ පුත්‍රයන්ටත් අයිති වේ. සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි මෙය සදහට ම වලංගු නියෝගයකි”යි කීවේ ය.</verse>
				<verse number="16">මෝසෙස් පාප පූජාව සඳහා පිදූ එළුවා ගැන විමසූ විට, පුදුමයකි! ඌ දවා තිබිණි. එවිට ඔහු ආරොන්ගේ පුත්‍රයන් අතර ජීවත් ව සිට එලෙයාසර් සහ ඊතාමාර් සමඟ කිපී:</verse>
				<verse number="17">“ඔබ පාප පූජාවට ගත් සතා ශුද්ධස්ථානයේ දී නොවැළඳුවේ මන් ද? සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පව් කමාවේ පිළිවෙත ඉටු කරමින්, ජනතාවගේ පාපවලට කමාව දෙන පිණිස උන් වහන්සේ එය ඔබට දුන් සේක, එය අතිශුද්ධ ය.</verse>
				<verse number="18">එහි ලේ ශුද්ධස්ථානය තුළට ඔබ නොගෙනාවහු ය. මා අණ කළ පරිදි එය ශුද්ධස්ථානය තුළ වැළඳිය යුතු ව තිබුණේ ය”යි කීවේ ය.</verse>
				<verse number="19">එවිට ආරොන් ද මෝසෙස්ට උත්තර දෙමින්, “බලන්න, මෙදින සෙනඟ තමන්ගේ පාප පූජාව සහ දවන යාග පූජාව සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔප්පු කළ නමුත්, මට මෙයාකාර දේවල් සිදු වී ඇත. හොඳයි, පාප පූජාව සඳහා පිදූ සතාගේ මාංසය මම අද වැළඳුවෙම් නම්, එය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්න දෙයක් වන්නට තිබුණේ දැ”යි ඇසී ය.</verse>
				<verse number="20">මෙය ඇසූ විට මෝසෙස් සතුටු විය.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස් හා ආරොන් අමතමින් ඔවුන්ට කතා කොට,</verse>
				<verse number="2">“ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “මිහි පිට සිටින සියලු මෘගයන් අතරෙන් නුඹලාට කන්නට සුදුසු සත්තු නම් මොවුහු ය.</verse>
				<verse number="3">කුරය දෙකට බෙදී, වෙන් ව තිබෙන, වමාරා කන මෘගයන් කෑමට සුදුසු ය.</verse>
				<verse number="4">එහෙත්, වමාරා කන හෝ කුරය දෙකට බෙදී ඇති හෝ පහත දක්වන මෘගයන් ඔබ නොකෑ යුතු ය. එනම්, ඔටුවා වමාරා කන නමුත් උගේ කුර දෙකට බෙදී නැත. ඌ අපවිත්‍ර සතෙකු ලෙස සැලකිය යුතු ය.</verse>
				<verse number="5">පොළොවේ බෙන් හාවා වමාරා කන නමුත් උගේ කුර බෙදී නැත. ඌ අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය.</verse>
				<verse number="6">හාවා වමාරා කන නමුත් උගේ කුර බෙදී නැත. ඌ අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය.</verse>
				<verse number="7">ඌරාගේ කුරය බෙදී වෙන් ව තිබෙන නමුත් ඌ වමාරා නොකයි. ඌ අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය.</verse>
				<verse number="8">ඉහත දැක්වූ සතුන්ගේ මස් නොකෑ යුතු ය. උන්ගේ මළකුණු ස්පර්ශ නොකළ යුතු ය. උන් අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය.</verse>
				<verse number="9">“තවද, ජලජ සතුන්ගෙන් පහත දක්වන සත්තු නුඹලාට කන්නට සුදුසු ය. මුහුදු ජලයේ හෝ ගංගා ජලයේ හෝ වසන වරල් සහ කොරපොතු සහිත උන් නුඹලාට කෑමට සුදුසු ය.</verse>
				<verse number="10">එහෙත්, මුහුදු ජලයේ හෝ ගංගා ජලයේ හෝ හැසිරෙන අනෙක් ජලජ සතුන් අතර වරල් හා කොරපොතු රහිත උන් නුඹලා පිළිකුල් කොට සැලකිය යුතු ය.</verse>
				<verse number="11">නුඹලා උන් පිළිකුල් කොට, උන්ගේ මාංස නොකෑ යුතු ය. තවද, නුඹලා උන්ගේ මළකුණු පවා පිළිකුල් කළ යුතු ය.</verse>
				<verse number="12">නුඹලා වරල් හා කොරපොතු රහිත ජලජ සතුන් පිළිකුල් කළ යුතු ය.</verse>
				<verse number="13">“තවද, පක්ෂීන් අතර නුඹලා පහත දක්වන සතුන් පිළිකුල් කොට සැලකිය යුතු ය. නුඹලා උන් නොකෑ යුතු ය; පිළිකුල් කළ යුතු ය. ඒ සත්තු නම්, රාජාලියා, මහ ගිජු ලිහිණියා, මූදු උකුස්සා;</verse>
				<verse number="14">සාමාන්‍ය උකුස්සා, නා නා විධ කුරුළුගොයි;</verse>
				<verse number="15">නා නා විධ කපුටුවෝ සියල්ල;</verse>
				<verse number="16">පැස්බරා, රෑ උකුස්සා, මූදු ලිහිණියා, නා නා විධ වෙනත් උකුස්සෝ;</verse>
				<verse number="17">බස්සා, දියකාවා, බකමූණා;</verse>
				<verse number="18">උලමා, කරවැල්කොකා, ගිජු ලිහිණියා;</verse>
				<verse number="19">මානකොකා, නා නා විධ වෙනත් කොක්කු, හුපුවා සහ වවුලා වෙත්.</verse>
				<verse number="20">“පියාපත් සහිත, පා හතරින් ඇවිදින සියලු සතුන් නුඹලාට පිළිකුල් විය යුතු ය.</verse>
				<verse number="21">එහෙත්, පා හතරින් බිම පැන පැන යන, දිග කකුල් ඇති පහත දක්වන සත්තු නුඹලාට කෑමට සුදුසු ය.</verse>
				<verse number="22">එනම්, නා නා විධ පළඟැටි ගිරව්, නා නා විධ රැහැයියන්, නා නා විධ වාලුකා පළඟැටි ගිරව් කෑමට සුදුසු ය.</verse>
				<verse number="23">එහෙත්, පා හතරින් යන, පියාපත් සහිත අන් සියලු සතුන් නුඹලාට පිළිකුල් විය යුතු ය.</verse>
				<verse number="24">“පහත දක්වන සතුන් නිසා නුඹලා අපවිත්‍ර වන්නහු ය; උන්ගේ මළකුණු ස්පර්ශ කරන කවරෙක් නමුත්, ඔහු සවස දක්වා අපවිත්‍ර වේ.</verse>
				<verse number="25">තවද, යමෙකු උන්ගේ මළකුණු උසුලාගෙන ගියොත්, ඔහු සිය වස්ත්‍ර සෝදාගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වේ.</verse>
				<verse number="26">කුර ඇති නමුත් ඒවා නොබෙදී ඇති නම්, හෝ වමාරා නොකන හෝ සියලු මෘගයන්ගේ මළකුණු අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය. ඒවා ස්පර්ශ කරන සියල්ලෝ අපවිත්‍ර වෙති.</verse>
				<verse number="27">පා සතරින් ඇවිදින සියලු වර්ගවල සතුන් අතර පතුල් තබා යන සතුන් අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය. උන්ගේ මළකුණු ස්පර්ශ කරන සෑම කෙනෙක් ම සවස දක්වා අපවිත්‍ර වේ.</verse>
				<verse number="28">යමෙකු උන්ගේ මළකුණු උසුලාගෙන ගියොත්, ඔහු තම වස්ත්‍ර සෝදාගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වේ. නුඹලා උන් අපවිත්‍ර සතුන් ලෙස සැලකිය යුතු ය.</verse>
				<verse number="29">“බිම බඩගා යන සතුන් අතර පහත දක්වන සතුන් අපවිත්‍ර ලෙස නුඹලා සැලකිය යුතු ය. උන් නම්, නා නා විධ මුගටි, මීයෝ, ඉබ්බෝ;</verse>
				<verse number="30">හිකනැල්ලු, කටුස්සෝ, හූනෝ, ගොළුබෙල්ලෝ සහ වැලි මීයෝ වෙත්.</verse>
				<verse number="31">බඩගා යන සතුන් අතර මොවුහු නුඹලාට අපවිත්‍ර ය. උන්ගේ මළකුණු ස්පර්ශ කරන සෑම කෙනෙක් ම සවස දක්වා අපවිත්‍ර වේ.</verse>
				<verse number="32">උන්ගේ මළකුණු යම් දෙයක් පිට වැටුණොත්, එය ලී භාජනයක් වේ වා, වස්ත්‍රයක් වේ වා, හමක් වේ වා, මල්ලක් වේ වා, භාවිතයට ගන්න ඕනෑ ම බඳුනක් වේ වා ඒවා අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය. ඒවා වතුරේ දැමිය යුතු අතර ඒවා සවස දක්වා අපවිත්‍ර වේ. ඉන්පසු ඒවා පවිත්‍ර ලෙස සැලකිය යුතු ය.</verse>
				<verse number="33">උන්ගේ මළකුණක් මැටි බඳුනකට වැටුණොත්, එහි තිබෙන සියල්ල අපවිත්‍ර වනු ඇත. එය ද බිඳ දැමිය යුතු ය.</verse>
				<verse number="34">කෑමට අවසර ඇති යම් ආහාරයක් පිට එවැනි බඳුනකින් වතුර වැටුණොත් ඒ ආහාර අපවිත්‍ර වනු ඇත. එවැනි බඳුනකින් බොන සියලු බීම ද අපවිත්‍ර වන්නේ ය.</verse>
				<verse number="35">උන්ගේ මළකුණුවලින් කිසිවක් යම් දෙයක් පිට වැටේ ද, එය උදුනක් වේ වා, වළං මැස්සක් වේ වා, ඒවා කඩාදැමිය යුතු ය. ඒවා අපවිත්‍ර ය. නුඹලා ද ඒවා අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය.</verse>
				<verse number="36">එහෙත් උල්පත්, තටාක හා ජලය ඇති වෙනත් ස්ථාන ද පවිත්‍ර යයි සැලකිය යුතු ය. එහෙත්, උන්ගේ මළකුණු ස්පර්ශ වන අන් සියල්ල අපවිත්‍ර ය.</verse>
				<verse number="37">තවද, උන්ගේ මළකුණුවලින් යමක් බිත්තර වී පිට වැටුණත් ඒවා පවිත්‍ර ය.</verse>
				<verse number="38">එහෙත්, ඒ බීජ පිට වතුර වත් කළ පසු උන්ගේ මළකුණුවලින් කිසිවක් ඒවා පිට වැටුණොත් ඒවා අපවිත්‍ර යයි සැලකිය යුතු ය.</verse>
				<verse number="39">“නුඹලාට කෑමට අවසර ඇති යම් මෘගයෙකු මළ පසු යමෙකු උගේ මළකුණ ස්පර්ශ කළොත්, සවස දක්වා ඔහු අපවිත්‍ර ව සිටියි.</verse>
				<verse number="40">යමෙකු ඒ මළ සතාගේ මස් කෑවොත්, ඔහු තම වස්ත්‍ර සෝදාගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර ව සිටියි. තවද, යමෙකු උගේ මළකුණ උසුලාගෙන ගියොත්, ඔහු තම වස්ත්‍ර සෝදාගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර ව සිටිනු ඇත.</verse>
				<verse number="41">“බිම බඩගා යන සියලු සත්තු පිළිකුල් ය. උන් නොකෑ යුතු ය.</verse>
				<verse number="42">බඩගා යන සියලු සතුන්, පා හතරෙන් ඇවිදින සියලු සතුන් හා බඩගා යන සතුන් අතර බොහෝ පා ඇති සතුන් නුඹලා නොකෑ යුතු ය. උන් පිළිකුල් කොට සැලකිය යුතු ය.</verse>
				<verse number="43">තවද, නුඹලා බඩගා යන කොයි යම් සතෙක් වත් කෑමෙන් පිළිකුල් නොවී, අපවිත්‍ර නොවී සිටිය යුතු ය. උන්ගෙන් දූෂණය නොවිය යුතු ය.</verse>
				<verse number="44">මන්ද, මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි. මා ශුද්ධ බැවින්, නුඹලා ද කැප වී ශුද්ධ විය යුතු ය. එබැවින් නුඹලා බිම බඩගා යන කොයි යම් සතෙකු වත් කෑමෙන් දූෂණය නොවිය යුතු ය.</verse>
				<verse number="45">නුඹලාගේ දෙවියන් වහන්සේ වනු පිණිස, නුඹලා පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ මම වෙමි. මා ශුද්ධ බැවින්, නුඹලා ද ශුද්ධ විය යුතු ය.</verse>
				<verse number="46">“මෘගයන් හා පක්ෂීන් ද ජලයේ හැසිරෙන සියලු ජලජ සතුන් හා බිම බඩගා යන සියලු සතුන් ද පිළිබඳ ව වලංගු නීතිය මෙය වේ.</verse>
				<verse number="47">මෙහි අදහස නම්, අපවිත්‍ර දේ හා පවිත්‍ර දේ පිළිබඳ ව ද කෑමට සුදුසු හා නුසුදුසු මෘගයන් පිළිබඳ ව ද නුඹලා වෙනසක් කළ යුතු බව ය.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා,</verse>
				<verse number="2">“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “ස්ත්‍රියක ගැබ්ගෙන පිරිමි දරුවෙකු ලැබුවොත්, ඈ ඔසප් ව සිටිය දිනවල දී මෙන් ම හත් දවසක් අපවිත්‍ර ව සිටින්නී ය.</verse>
				<verse number="3">අට වන දවසේ දී ඒ දරුවාගේ චර්මාග්‍රය ඡේදනය කළ යුතු ය.</verse>
				<verse number="4">ඉන්පසු ඈ සම්මත චාරිත්‍ර අනුව ඇගේ ලේ යාමෙන් පවිත්‍ර වීම පිණිස දවස් තිස්තුනක් සිටිය යුතු ය. ඇගේ පවිත්‍ර වීමේ දවස් සම්පූර්ණ වන තෙක් ඈ කිසි ශුද්ධ දෙයක් ස්පර්ශ නොකළ යුතු ය. ශුද්ධස්ථානයට ඇතුළු නොවිය යුතු ය.</verse>
				<verse number="5">එහෙත්, ඈ ගැහැණු දරුවෙකු ලැබුවොත්, ඈ ඔසප් දිනවල දී මෙන් සති දෙකක් අපවිත්‍ර ව සිටින්නී ය. ඉන්පසු ඈ සම්මත චාරිත්‍ර අනුව ඇගේ ලේ යෑමෙන් පවිත්‍ර වීම පිණිස දවස් හැටහයක් සිටිය යුතු ය.</verse>
				<verse number="6">“පුතෙකු හෝ දුවක හෝ සඳහා ඇගේ පවිත්‍ර වීමේ කාලය සම්පූර්ණ වූ පසු ඈ සම්මුඛ මණ්ඩපයේ දොරකඩ පූජකවරයා වෙත දවන යාග පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති බැටළුවෙකු ද පාප පූජාවක් සඳහා පරෙවි පැටියෙකු හෝ කොබෙයියෙකු ද ගෙනා යුතු ය.</verse>
				<verse number="7">පූජකවරයා එය සමිඳාණන් වහන්සේට පුදා ඇගේ පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කරනු ඇත. පිරිමි දරුවෙකු හෝ ගැහැණු දරුවෙකු හෝ ලැබූ පසු ස්ත්‍රියක ඉටු කළ යුතු පිළිවෙත මෙය වේ.</verse>
				<verse number="8">තවද, ඈට බැටළුවෙකු ගෙනෙන්නට වත්කමක් නැති නම්, කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ගෙනා යුතු ය. එකෙක් දවන යාග පූජාව සඳහා ය, අනෙකා පාප පූජාව සඳහා ය. පූජකවරයා ඈ උදෙසා මෙලෙස පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ විට ඈ පවිත්‍ර වනු ඇත.”</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“යමෙකුගේ ශරීරයේ හමේ බිබිලක් හෝ තඩිස්සියක් හෝ පැල්ලමක් හෝ හටගෙන, එය බෝවෙන චර්ම රෝගයක් වන්නට ඉඩ තිබේ නම්, ඔහු පූජක ආරොන් වෙත හෝ පූජකයෙකු වන ඔහුගේ පුතෙකු වෙත හෝ ගෙනා යුතු ය.</verse>
				<verse number="3">පූජකවරයා ද ඔහුගේ ශරීරයේ හමේ කුෂ්ඨය සෝදිසි කළ යුතු ය. රෝගය ඇති ස්ථානයේ රෝම සුදු පාට වී, කුෂ්ඨය හමේ ගැඹුරට ගොස් තිබේ නම්, එය බෝවෙන චර්ම රෝගයක් වේ. පූජකවරයා ද ඔහු සෝදිසි කළ පසු ඔහු අපවිත්‍ර ය කියා ප්‍රකාශ කළ යුතු ය.</verse>
				<verse number="4">එහෙත්, හමේ පැල්ලම සුදු පාට නමුත්, එය හමේ ගැඹුරට නොගොස් එහි රෝම සුදු පාට වී නොතිබේ නම්, පූජකවරයා එම කුෂ්ඨය ඇති තැනැත්තා දවස් හතක් වෙන් කොට තැබිය යුතු ය.</verse>
				<verse number="5">හත් වන දින පූජකවරයා ඔහු සෝදිසි කළ යුතු ය. කුෂ්ඨය එසේ ම ඇති ව, එය පැතිරී නැත් නම්, ඔහු ඒ තැනැත්තා තව දවස් හතක් වෙන් කොට තැබිය යුතු ය.</verse>
				<verse number="6">නැවත හත් වන දින පූජකවරයා ඔහු සෝදිසි කළ යුතු ය. එවිට කුෂ්ඨය මැල වී, එය හම පිට පැතිර නොගොස් තිබේ නම්, පූජකවරයා ඔහු පවිත්‍ර ය කියා ප්‍රකාශ කළ යුතු ය. එය තඩිස්සියක් පමණකි. ඔහු තම වස්ත්‍ර සෝදාගත් පසු පවිත්‍ර වනු ඇත.</verse>
				<verse number="7">පූජකවරයා ඔහු නැවත සෝදිසි කොට පවිත්‍ර යයි ප්‍රකාශ කළ පසු තඩිස්සිය හමේ වඩා පැතිරී ගියහොත්, ඔහු පූජකවරයා වෙත ඉදිරිපත් වී නැවත සෝදිසි කරවා ගනු ලැබිය යුතු ය.</verse>
				<verse number="8">පූජකවරයා ඔහු මෙසේ සෝදිසි කොට තඩිස්සිය හමේ පැතිර ගොස් ඇත්නම්, ඔහු ඒ තැනැත්තා අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය බෝවෙන චර්ම රෝගයක් වේ.</verse>
				<verse number="9">“යමෙකුට බෝවෙන චර්ම රෝගයක් ඇත්නම්, ඔහු පූජකවරයා වෙත ගෙනා යුතු ය.</verse>
				<verse number="10">ඔහු ඒ තැනැත්තා සෝදිසි කොට, හමේ බිබිල සුදු පාට නම්, එහි රෝම සුදු පාට වී බිබිල ඔඩු දුවන වණයක් වී ඇත්නම්</verse>
				<verse number="11">එය ඔහුගේ සිරුරේ හමේ වූ කල්ගිය බෝවෙන චර්ම රෝගයක් බැවින් ඔහු ඒ තැනැත්තා අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. තවද, ඒ තැනැත්තා වෙන් කිරීම අනවශ්‍ය ය. මන්ද, ඔහු දැනට ම අපවිත්‍ර ය.</verse>
				<verse number="12">තවද, බෝවෙන කුෂ්ඨ රෝගය හම පුරා පැතිර ගොස් පූජකයාට පෙනෙන පරිදි එය ඔහුගේ හිස සිට පා දක්වා මුළු හම ම වසා ඇත්නම්,</verse>
				<verse number="13">ඔහු ඒ තැනැත්තා යළි සෝදිසි කළ යුතු ය. බෝවෙන චර්ම රෝගය ඔහුගේ මුළු ශරීරය ම වසා ඇත්නම්, ඔහු ඒ තැනැත්තා පවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. බෝවෙන චර්ම රෝගය මුළුමනින් ම සුදු පාට වී ඇති බැවින් ඔහු පවිත්‍ර ය.</verse>
				<verse number="14">එහෙත්, ඔඩු දුවන වණ පෙනේ නම් ඔහු අපවිත්‍ර ය.</verse>
				<verse number="15">පූජකවරයා ඒ වණ පරීක්ෂා කොට ඔහු අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. ඔඩු දුවන වණ අපවිත්‍ර ය. එය බෝවෙන චර්ම රෝගයකි.</verse>
				<verse number="16">ඒ ඔඩු දුවන වණ යළි වෙනසක් දක්වා සුදු පාටට හැරුණොත්, ඔහු පූජකවරයා වෙත යළි පැමිණිය යුතු ය.</verse>
				<verse number="17">ඔහු ඒ තැනැත්තා සෝදිසි කොට බෝවෙන චර්ම රෝගය සුදු පාට වී ඇත්නම්, ඒ තැනැත්තා පවිත්‍ර බව ප්‍රකාශ කළ යුතු ය. එවැන්නෙක් බෝවෙන චර්ම රෝගයෙන් පවිත්‍ර ය.</verse>
				<verse number="18">“යමෙකුගේ ශරීරයේ හමේ ගඩ ගෙඩියක් තිබී, එය සුව වූ පසු</verse>
				<verse number="19">එම ගඩ ගෙඩිය තිබූ ස්ථානය සුදු පාට වී ඉදිමී හෝ රතට හුරු පැල්ලමක් හෝ ඇති වුවහොත්, එය පූජකවරයාට පෙන්විය යුතු ය.</verse>
				<verse number="20">පූජකවරයා ද ඔහු සෝදිසි කළ පසු, එය හමේ ගැඹුරට ගොස් එහි රෝම සුදු පාට වී ඇති බව පෙනේ නම්, ඒ තැනැත්තා අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය ගඩ ගෙඩියකින් හට ගැනුණු චර්ම රෝගයකි.</verse>
				<verse number="21">එහෙත්, පූජකවරයා ඔහු සෝදිසි කළ පසු එහි සුදු පාට රෝම නැති බවත්, හමේ ගැඹුරට ගොස් නැති බවත්, එය මැල වී තිබෙන බවත් පෙනේ නම්, ඔහු ඒ තැනැත්තා දවස් හතක් වෙන් කොට තැබිය යුතු ය.</verse>
				<verse number="22">එය හම පුරා පැතිරී ගියහොත්, පූජකවරයා ඔහු අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය බෝවෙන චර්ම රෝගයකි.</verse>
				<verse number="23">එහෙත්, එම පැල්ලම පැතිරී නොගොස් එසේ ම පවතී නම්, එය ගඩ ගෙඩියේ කැළල ය. පූජකවරයා ඔහු පවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය.</verse>
				<verse number="24">“යමෙකුගේ ශරීරයේ හම ගින්නෙන් පිළිස්සී, ඒ පිළිස්සුණ ස්ථානයේ වණයේ, ලා රතු හෝ සුදු හෝ පැල්ලමක් ඇති වුණොත්,</verse>
				<verse number="25">පූජකවරයා ඔහු සෝදිසි කළ යුතු ය. පැල්ලමේ රෝම සුදු වී ඇති බව ද හමේ ගැඹුරට ගොස් ඇති බව ද පෙනේ නම්, එය පිළිස්සීමෙන් හට ගැනුණු බෝවෙන චර්ම රෝගයකි. එබැවින් පූජකවරයා ඔහු අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය බෝවෙන චර්ම රෝගයකි.</verse>
				<verse number="26">පූජකවරයා ඔහු සෝදිසි කොට, එම පැල්ලමේ සුදු පාට රෝම නැති බවත්, එය හමේ ගැඹුරට ගොස් නැති බවත්, එය මැල වී ඇති බවත් දකී නම්, ඔහු ඒ තැනැත්තා දින හතක් වෙන් කොට තැබිය යුතු ය.</verse>
				<verse number="27">හත් වන දින පූජකවරයා ඔහු සෝදිසි කොට, එය හමේ පැතිරී ගොස් තිබේ නම්, ඒ තැනැත්තා අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය බෝවෙන චර්ම රෝගයකි.</verse>
				<verse number="28">එහෙත්, ඒ පැල්ලම පැතිරී නොගොස් එලෙස ම පවතී නම්, එය මඳක් මැල වී ඇති නම්, එය පිළිස්සීමෙන් හටගත් ඉදිමීමකි. පූජකවරයා ඔහු පවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය පිළිස්සීමෙන් හටගත් කැළලක් පමණි.</verse>
				<verse number="29">“පුරුෂයෙකුගේ හෝ ස්ත්‍රියකගේ හෝ හිසේ හෝ නිකටේ හෝ වණයක් තිබේ නම්,</verse>
				<verse number="30">පූජකවරයා එම වණය සෝදිසි කළ යුතු ය. එය හමේ ගැඹුරට ගොස් තිබෙන බවත්, එහි කහ පාටට හුරු සිහින් රෝම ඇති බවත් පෙනේ නම්, පූජකවරයා එවැනි අය අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය දදයක් බැවින්, එය හිසේ හෝ නිකටේ හෝ හටගන්න බෝවෙන චර්ම රෝගයකි.</verse>
				<verse number="31">පූජකවරයා ද එම දදය සෝදිසි කොට, එය හමේ ගැඹුරට නොගොස් එහි කළු පාට රෝම නොතිබේ නම්, ඔහු ඒ තැනැත්තා හත් දිනක් වෙන් කොට තැබිය යුතු ය.</verse>
				<verse number="32">හත් වන දින දී පූජකවරයා ඒ තැනැත්තා සෝදිසි කොට, දදය පැතිරී නොගොස් එහි කහ පාටට හුරු රෝම නොතිබේ නම්, දදය හමේ ගැඹුරට නොගොස් ඇත්නම්,</verse>
				<verse number="33">ඒ තැනැත්තාට හිස බූගාගන්නට සැලැස්විය යුතු ය. එහෙත්, දදය බූනොගෑ යුතු ය. තව හත් දිනක් ද ඔහු වෙන් කොට තැබිය යුතු ය.</verse>
				<verse number="34">නැවත හත් වන දින පූජකවරයා ඒ රෝගියා සෝදිසි කොට, දදය හමේ නොපැතිරී, හමේ ගැඹුරට නොගොස් ඇත්නම්, ඒ තැනැත්තා පවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. රෝගියා ද තම වස්ත්‍ර සෝදාගත් පසු පවිත්‍ර වේ.</verse>
				<verse number="35">එහෙත්, ඔහු සෝදාගත් පසු දදය වඩාත් පැතිරී ගොස් තිබේ නම්,</verse>
				<verse number="36">පූජකවරයා ඔහු නැවත සෝදිසි කොට දදය පැතිරී ගොස් ඇත්නම්, එහි කහ පාටට හුරු රෝම නැති ව වේවා ඔහු අපවිත්‍ර කෙනෙකු වනු ඇත.</verse>
				<verse number="37">එහෙත්, දදය එලෙස වෙනසක් නැති ව ද, එහි කළු පාට රෝම වැඩෙමින් ද තිබේ නම්, දදය සුව වී ඇත. ඔහු පවිත්‍ර බැවින් පූජකවරයා එලෙස ප්‍රකාශ කළ යුතු වේ.</verse>
				<verse number="38">“යම් පුරුෂයෙකුගේ හෝ ස්ත්‍රියකගේ හෝ ශරීරයේ හමේ සුදු පලු හටගතහොත්,</verse>
				<verse number="39">පූජකවරයා එවැන්නෙකු සෝදිසි කළ යුතු ය. හමේ ඒ දදය සුදුමැලි ව තිබේ නම්, එය හමේ හටගන්න ගෝමර වේ. එවැන්නෙක් පවිත්‍ර කෙනෙකි.</verse>
				<verse number="40">“යම් පුරුෂයෙකුගේ හිසකෙස් වැටුණොත් ඔහු හිස මුඩු කෙනෙකි; ඔහු පවිත්‍ර ය.</verse>
				<verse number="41">තවද, ඔහුගේ මුහුණට ඉහළින් හිසේ ඉස්සරහ කොටසේ හිසකෙස් වැටී නළල මුඩු කෙනෙකු වුව ද ඔහු පවිත්‍ර ය.</verse>
				<verse number="42">එහෙත්, ඒ මුඩු හිසෙහි හෝ මුඩු නළලෙහි සුදුමැලි වණයක් හටගතහොත් එය බෝවෙන චර්ම රෝගයකි.</verse>
				<verse number="43">පූජකවරයා ඔහු සෝදිසි කළ විට මුඩු හිසෙහි හෝ මුඩු නළලෙහි හෝ ඉදිමුම, හමේ හට ගන්න බෝවෙන චර්ම රෝගයක් මෙන් මඳක් රතට හුරු නම්,</verse>
				<verse number="44">ඔහු හමේ බෝවෙන රෝගයක් ඇති කෙනෙකි. ඔහු අපවිත්‍ර ය. පූජකවරයා ඒ තැනැත්තාගේ හිසේ බෝවෙන චර්ම රෝගයක් ඇති බැවින් ඔහු අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය.</verse>
				<verse number="45">බෝවෙන චර්ම රෝගියා ද තම වස්ත්‍රය ඉරාගෙන, තම හිසකෙස් අවුල් කොටගෙන, තම උඩු තොල වක්ත්‍ර පටියකින් වසාගෙන, ‘අපවිත්‍ර ය, අපවිත්‍ර ය’යි කෑගැසිය යුතු ය.</verse>
				<verse number="46">බෝවෙන චර්ම රෝගය ඇති මුළු කාලය තුළ ම ඔහු කෙලෙසුණු, අපවිත්‍ර කෙනෙකි. ඔහු කඳවුරෙන් පිටත හුදකලා ව විසිය යුතු ය.</verse>
				<verse number="47">“යම් රෙදි කඩක චර්ම රෝග ලකුණු තිබුණොත්, එම රෙදි කඩ ලෝම වස්ත්‍රයක් හෝ හණ වස්ත්‍රයක් හෝ වේවා,</verse>
				<verse number="48">හණ හෝ ලෝමයෙන් හෝ වියූ ඇතිරිල්ලක් හෝ වේවා, හම් පිළියක් හෝ හමින් සෑදූ යමක් හෝ වේවා,</verse>
				<verse number="49">එම රෝග ලකුණු හම් පිළියේ හෝ වියූ වස්ත්‍රයේ හෝ හමින් සෑදූ යමක හෝ වේවා, කොළ පාටට හෝ රතු පාටට හෝ හුරු ව පෙනේ නම්, එය බෝවෙන චර්ම රෝග ලකුණකි. ඒ රෙදිකඩ පූජකවරයාට පෙන්වා</verse>
				<verse number="50">ඔහු එය සෝදිසි කළ පසු, දින හතක් එය වෙන් කොට තැබිය යුතු ය.</verse>
				<verse number="51">ඔහු ද එහි රෝගය හත් වන දින සෝදිසි කළ විට එය ඉහත කී වස්ත්‍රයක එනම්, වියූ ඇතිරිල්ලක වේවා, හමින් සෑදූ යමක වේවා පැතිරී ගොස් තිබේ නම්, එවැන්නක් සැරෙන් බෝවෙන චර්ම රෝගයකි. එය අපවිත්‍ර ය.</verse>
				<verse number="52">එබැවින් ඔහු එබඳු ඕනෑ ම පිළියක්, හණ හෝ ලෝමයෙන් හෝ වියූ ඇතිරිල්ලක් හෝ වේවා, හමින් සෑදූ යමක් හෝ වේවා, සැරෙන් බෝවෙන චර්ම රෝගයක ලකුණු ඇති බැවින් ඒවා ගින්නෙන් පුළුස්සා දැමිය යුතු ය.</verse>
				<verse number="53">එහෙත්, පූජකවරයා එවැනි වස්ත්‍රයක් සෝදිසි කළ පසු එම රෝගය, වියූ ඇතිරිල්ලක වේවා, හමින් සෑදූ යමක වේවා, එය පැතිරී ගොස් නැත්නම්,</verse>
				<verse number="54">ඒවා සෝදන්නට අණ කොට, තව හත් දිනක් ඒවා වෙන් කොට තැබිය යුතු ය.</verse>
				<verse number="55">වස්ත්‍රය සේදූ පසු පූජකවරයා එය සෝදිසි කොට බලන විට, රෝග ලකුණුවල පාට වෙනස් නොවී, රෝගය පැතිරී නොගොස් තිබෙන නමුත්, එය අපවිත්‍ර ය. එය ගින්නේ පිළිස්සිය යුතු ය. මන්ද, රෝගය, වස්ත්‍රයේ ඇතුළු පැත්තේ වේවා, පිට පැත්තේ වේවා, ඊට තදින් කාවැදී ඇති බැවිනි.</verse>
				<verse number="56">වස්ත්‍රය සේදූ පසු පූජකවරයා එය සෝදිසි කරන විට රෝග ලකුණු මැල වී තිබෙන බව පෙනේ නම්, ඔහු ඒ කොටස වස්ත්‍රයෙන් හෝ හම් පිළියෙන් හෝ වියූ වස්ත්‍රයෙන් හෝ ඉරා දැමිය යුතු ය.</verse>
				<verse number="57">ඉන්පසු පවා එම රෝග ලකුණු වියූ ඇතිරිල්ලක හෝ හමින් සෑදූ යමක හෝ පෙනේ නම්, ඒවා පැතිරී යන බෝවෙන චර්ම රෝගයක ලකුණු බැවින් එවැන්නක් ගින්නේ පිළිස්සිය යුතු ය.</verse>
				<verse number="58">එහෙත්, සේදූ වස්ත්‍රයෙන්, වියූ ඇතිරිල්ලෙන් හෝ හමින් සෑදූ යමකින් වේවා, රෝග ලකුණු පහ වී ගොස් තිබේ නම්, එය දෙ වන වරටත් සේදූ පසු පවිත්‍ර වනු ඇත.</verse>
				<verse number="59">මෙය වනාහි ලෝම වස්ත්‍ර වේවා, වියූ හණ හෝ ලෝම හෝ පිළි වේවා, හම් පිළි හෝ වේවා, ඒවායේ පවිත්‍ර අපවිත්‍රතාව ප්‍රකාශ කිරීමට අදාළ වන නීතිය වේ.”</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“බෝවෙන චර්ම රෝගියෙකු සුව වී තමා ශුද්ධ පවිත්‍ර වන දවසේ දී ඔහු කෙරෙහි බලපාන නීතිය මෙය වේ. එනම්, ඔහු පූජකවරයා වෙත ගෙන ආ යුතු ය.</verse>
				<verse number="3">පූජකවරයා ඔහු කඳවුරෙන් පිටතට කැඳවා ගෙන ගොස් ඔහු සෝදිසි කොට බෝවෙන චර්ම රෝගය සුව වී ඇත්නම්,</verse>
				<verse number="4">පවිත්‍ර වීමේ පිළිවෙත සඳහා පණපිටින් පවිත්‍ර පක්ෂීන් දෙදෙනෙකු ද කිහිරි ගසින් ලී කෑල්ලක් ද දම් පාට රෙදි කඩක් ද හිසොප් නම් පැළෑටියක් ද ගෙනෙන්නට අණ කළ යුතු ය.</verse>
				<verse number="5">පසුව පිරිසිදු වතුර දැමූ මැටි බඳුනක් තුළ, වතුරට උඩින් පක්ෂීන් දෙදෙනාගෙන් එකෙකු මැරීමට අණ කළ යුතු ය.</verse>
				<verse number="6">ඉන්පසු වතුරට උඩින් තබා මරන ලද පළමු පක්ෂියාගේ ලේවල, පණපිටින් සිටින අනික් පක්ෂියා ද කිහිරි ලී කෑල්ල ද දම් පාට රෙදි කඩ ද හිසොප් පැළය ද ගිල්වා,</verse>
				<verse number="7">ඔහු බෝවෙන චර්ම රෝගය තිබූ තැනැත්තා මත හත්වරක් ලේ ඉස, ඔහු පවිත්‍ර යයි ප්‍රකාශ කොට, පණපිටින් සිටින පක්ෂියාට එළිමහනේ පියාඹා යෑමට ඉඩ හැරිය යුතු ය.</verse>
				<verse number="8">පවිත්‍ර විය යුතු තැනැත්තා ද තම වස්ත්‍ර සෝදාගෙන, හිස මුඩු කොට ස්නානය කළ යුතු ය. මෙසේ කළ පසු ඔහු පවිත්‍ර වනු ඇත. ඔහු කඳවුරට ඇතුළු වී හත් දිනක් තුළ තම කූඩාරමෙන් පිටත සිටිය යුතු වේ.</verse>
				<verse number="9">හත් වන දින දී ඔහු නැවත තම හිස මුඩු කොට, රැවුල බාගෙන ඇස් බැමි ද බූගාගෙන තම වස්ත්‍ර ද සෝදා ස්නානය කළ යුතු ය. එවිට ඔහු පවිත්‍ර වනු ඇත.</verse>
				<verse number="10">“අට වන දින ඔහු කැළැල් රහිත බැටළු වස්සන් දෙදෙනකු ද කැළැල් රහිත අවුරුද්දක් වයසැති බැටළු වැස්සියක ද තෙල් මිශ්‍ර සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද තෙල් ලීටර් එකකින් තුනෙන් පංගුවක් ද ධාන්‍ය පූජාවක් වශයෙන් ගත යුතු ය.</verse>
				<verse number="11">ඉන්පසු රෝගියාගේ පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කරන පූජකවරයා රෝගියාත්, පෙර කී පඬුරුත් සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ ඉදිරියට ගෙන යා යුතු ය.</verse>
				<verse number="12">එවිට පූජකවරයා බැටළු වස්සෙකු ගෙන ඔහු උදෙසා වන්දි ගෙවීමේ පූජාවක් පිණිස තෙල් ලීටර් එකකින් තුනෙන් පංගුවක් සමඟ ඌ පුද කරමින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කොට පිළිගැන්විය යුතු ය.</verse>
				<verse number="13">පසුව ඔහු පාප පූජාවට සහ දවන යාග පූජාවට ගන්න සතුන් මරන ශුද්ධස්ථානයේ දී බැටළු වස්සා මැරිය යුතු ය. පාප පූජාවේ සතා පූජකවරයාට හිමි සේ ම වන්දි ගෙවීමේ පූජාවේ සතා ද ඔහුට හිමි වේ. එය අතිශුද්ධ ය.</verse>
				<verse number="14">පූජකවරයා වන්දි ගෙවීමේ පූජාවේ සතාගේ ලෙයින් ටිකක් ගෙන පවිත්‍ර වීමේ පිළිවෙත ලබන තැනැත්තාගේ දකුණු කන් පෙත්තෙහි ද දකුණතේ මාපටැඟිල්ලේ ද දකුණු පයේ මාපටැඟිල්ලේ ද තැවරිය යුතු ය.</verse>
				<verse number="15">ඉන්පසු ඔහු තෙල් ටිකක් ගෙන තම වමතේ අල්ලට වත් කර,</verse>
				<verse number="16">දකුණතේ ඇඟිල්ල වමතේ අල්ලේ ඇති තෙලට දමා, එයින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හත්වරක් ඉසිය යුතු ය.</verse>
				<verse number="17">මෙසේ කොට ඔහු තම අතේ ඇති ඉතිරි තෙලින් ටිකක් පවිත්‍ර වීමේ පිළිවෙත ලබන්නාගේ දකුණු කන් පෙත්තේ ද දකුණු මාපටැඟිල්ලේ ද දකුණු පයේ මාපටැඟිල්ලේ ද වන්දි ගෙවීමේ පූජාවේ ලේ මත ද දැමිය යුතු ය.</verse>
				<verse number="18">තම අතේ ඇති ඉතිරි තෙල පවිත්‍ර වීමේ පිළිවෙත ලබන්නාගේ හිස මත වත් කරමින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔහු වෙනුවෙන් පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.</verse>
				<verse number="19">“ඉන්පසු පූජකවරයා ද පාප පූජාව ඔප්පු කොට, අපවිත්‍රකමින් පවිත්‍ර විය යුතු තැනැත්තා උදෙසා, පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ පසු දවන යාග පූජාවේ සතා මැරිය යුතු වේ.</verse>
				<verse number="20">පසුව දවන යාග පූජාවත්, ධාන්‍ය පූජාවත් පූජාසනය මත පුද කොට ඒ තැනැත්තා උදෙසා පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ පසු ඔහු පවිත්‍ර වනු ඇත.</verse>
				<verse number="21">යමෙකුගේ දිළිඳුකම නිසා වඩා යමක් ගෙනෙන්නට ඔහුට නොහැකි නම්, ඔහු පූජකවරයා වෙත ගෙන ආ යුතු ඒ වන්දි ගෙවීමේ පූජාව සඳහා එක බැටළු වස්සෙකු හා ධාන්‍ය පූජාව සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් කිලෝග්‍රෑම් එකක් ඇතුළු තව තෙල් ලීටර් එකකින් තුනෙන් පංගුවක් ගෙනා යුතු ය.</verse>
				<verse number="22">තවද, ඔහුගේ පුළුවන්කමේ හැටියට කොබෙයියන් ජෝඩුවක් හෝ පරෙවියන් ජෝඩුවක් හෝ ගෙනා යුතු ය. මින් එකක් පාප පූජාවක් සඳහා ය, අනික දවන යාග පූජාවක් සඳහා ය.</verse>
				<verse number="23">අට වන දින තමාගේ පවිත්‍ර වීම සඳහා ඔහු මේ සියල්ල සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටින පූජකවරයා වෙත ගෙනා යුතු ය.</verse>
				<verse number="24">පසුව පූජකවරයා වන්දි ගෙවීමේ පූජාව පිණිස සිටින බැටළු පැටියා ද තෙල් ලීටර් එකකින් තුනෙන් පංගුවක් ද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පූජාව ඔප්පු කරමින් පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.</verse>
				<verse number="25">ඔහු වන්දි ගෙවීමේ පූජාවේ බැටළුවා මරා, එයින් ලේ ටිකක් ගෙන, පවිත්‍ර වීම ලබන තැනැත්තාගේ දකුණු කන් පෙත්තෙහි ද ඔහුගේ දකුණතේ මාපටැඟිල්ලේ ද දකුණු පයේ මාපටැඟිල්ලේ ද තැවරිය යුතු වේ.</verse>
				<verse number="26">ඉන්පසු ඔහු තෙල් ටිකක් තම වමතේ අල්ලට වත් කොට,</verse>
				<verse number="27">දකුණතේ ඇඟිල්ලෙන් එම තෙල් ටිකක් ගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හත්වරක් ඉසිය යුතු ය.</verse>
				<verse number="28">තවද, ඔහු තම අතේ තිබෙන තෙලින් ටිකක් ගෙන පවිත්‍ර වීම ලබන තැනැත්තාගේ දකුණු කන් පෙත්තේ ද දකුණතේ මාපටැඟිල්ලේ ද දකුණු පයේ මාපටැඟිල්ලේ ද වන්දි ගෙවීමේ පූජාවේ ලේ මත ද දැමිය යුතු වේ.</verse>
				<verse number="29">පූජකවරයා තම අතේ ඇති ඉතිරි තෙල් පවිත්‍ර වීම ලබන තැනැත්තාගේ හිස මත වත් කරමින්, ඔහු වෙනුවට සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.</verse>
				<verse number="30">පසුව ඔහුගේ වත්කමේ හැටියට ගෙනා හැකි කොබෙයියෙකු හෝ පරෙවියෙකු හෝ පුද කළ යුතු ය.</verse>
				<verse number="31">එකෙකු ඔප්පු කළ යුත්තේ පාප පූජාවක් සඳහා ය; අනිකා ධාන්‍ය පූජාවක් සමඟ ඔප්පු කළ යුත්තේ දවන යාග පූජාවක් සඳහා ය; මෙලෙස පූජකවරයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පවිත්‍ර වීම ලබන්නා වෙනුවට පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.</verse>
				<verse number="32">පවිත්‍ර වීම සඳහා ගත යුතු පඬුරු ගෙනෙන්නට නොහැකි, බෝවෙන චර්ම රෝගියෙකු කෙරෙහි බලපාන නීතිය මෙය වේ.”</verse>
				<verse number="33">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="34">“උරුම වශයෙන් නුඹලාට දෙන්නට යන කානාන් දේශයට නුඹලා පැමිණි විට, උරුම වන එම දේශයේ යම් ගෘහයක ලාදුරු රෝගය බෝවෙන්නට මා සැලැස්සුවොත්,</verse>
				<verse number="35">එවිට ගෙහිමියා පූජකවරයා වෙත පැමිණ, ‘මාගේ ගෙදර ලාදුරු රෝගයෙහි ලකුණු ඇති සේ පෙනේ යැ’යි කිව යුතු ය.</verse>
				<verse number="36">එවිට පූජකවරයා ඒ ලකුණු පරීක්ෂා කිරීමට ගෙට ඇතුළු වන්නට පෙර ගෙයි ඇති සියල්ල අපවිත්‍ර නොවනු පිණිස ඒ ගේ හිස් කරන්නට අණ දිය යුතු ය. ඉන්පසු පූජකවරයා ගෙට ඇතුල් වනු ඇත.</verse>
				<verse number="37">එසේ ඇතුළු වී ඒ ලකුණු පරීක්ෂා කොට ගෙයි බිත්තියේ ඉරි ගැසී ඇති තැන් කොළ පාටට හෝ රතට හෝ හුරුව, බිත්තියේ යටට ම ගොස් තිබෙන බව පෙනේ නම්,</verse>
				<verse number="38">ඔහු ගෙයින් නික්ම දොරින් පිටතට අවුත්, හත් දවසකට ගෙය වසාදැමිය යුතු ය.</verse>
				<verse number="39">හත් වන දින දී ඔහු පැමිණ පරීක්ෂා කොට ඒ ලකුණු ගෙයි බිත්තිවල පැතිර ගොස් තිබේ නම්,</verse>
				<verse number="40">ඒ ලකුණු ඇති ගඩොල් ගලවා, නගරයේ පිටත කසළ ගොඩකට දැමීමට අණ කළ යුතු ය.</verse>
				<verse number="41">තවද, ගෙයි ඇතුළු බිත්ති සූරා, සූරන ලද බදාම නගරයේ පිටත කසළ ගොඩකට දමන ලෙස අණ කළ යුතු වේ.</verse>
				<verse number="42">ඉන්පසු වෙන ගඩොල් ගෙන පළමු ගඩොල් තිබූ ස්ථානවලට දමා තව බදාම ද රැගෙන ගෙය කපරාරු කළ යුතු ය.</verse>
				<verse number="43">“ගඩොල් අහකට ගෙන, ගෙය සූරා, එය කපරාරු කළ පසු ඒ ලකුණු මතු වී, ඒවා ගෙයි පැතිරී ගියහොත්,</verse>
				<verse number="44">පූජකවරයා යළි පැමිණි විට රෝගය ගෙයි පැතිරී ගොස් තිබෙන බව පෙනේ නම්, එය සැරෙන් පැතිරී යන බෝවෙන චර්ම රෝගයක් ය, එය අපවිත්‍ර ය.</verse>
				<verse number="45">ඔහු ගෙය ද එහි ගඩොල් ද ලී දඬු ද බදාම සම්පූර්ණයෙන් ද කඩාදමා නගරයෙන් පිටත කසළ ගොඩකට ඒවා ගෙන යා යුතු ය.</verse>
				<verse number="46">තවද, යමෙකු ඒ ගේ වසා තිබෙන කාලය තුළ එහි ඇතුළු වුවහොත්, ඔහු සවස දක්වා අපවිත්‍ර යයි සලකනු ලැබේ.</verse>
				<verse number="47">යමෙකු එම ගෙයි සැතපුණොත්, නැත්නම් ඒ ගෙය තුළ යමක් අනුභව කළොත්, ඔහු තම වස්ත්‍ර සෝදා ගත යුතු ය.</verse>
				<verse number="48">“පූජකවරයා ගෙය ඇතුළට විත්, එය පරීක්ෂා කොට ගෙය කපරාරු කළ පසු රෝග ලකුණු එහි පැතිරී ගොස් නැත්නම්, රෝග ලකුණු සුව වී ඇති බැවින් ඒ ගෙය පවිත්‍ර බව ප්‍රකාශ කළ යුතු ය.</verse>
				<verse number="49">ඔහු ගෙය පවිත්‍ර කරනු පිණිස පක්ෂීන් දෙදෙනෙකු ද කිහිරි ලී කෑල්ලක් ද දම් පාට රෙදි කඩක් ද හිසොප් පැළයක් ද ගෙනා යුතු ය.</verse>
				<verse number="50">පිරිසිදු වතුර ඇති මැටි බඳුනක උඩින් තබා එක පක්ෂියෙකු මරා,</verse>
				<verse number="51">පිරිසිදු වතුරේ මැරූ පක්ෂියාගේ ලේවල කිහිරි ලී කෑල්ල ද හිසොප් පැළය ද දම් පාට රෙදි කඩ හා පණපිටින් සිටින පක්ෂියා ද දමා ඒ ගෘහයට හත්වරක් ඉසිය යුතු ය.</verse>
				<verse number="52">මෙසේ ඔහු පක්ෂියාගේ ලෙයින් ද පිරිසිදු වතුරෙන් ද පණපිටින් සිටින පක්ෂියාගෙන් ද කිහිරි ලී කෑල්ලෙන් ද හිසොප් පැළයෙන් හා දම් පාට රෙදි කඩින් ද ගේ පවිත්‍ර කළ යුතු ය.</verse>
				<verse number="53">ඉන්පසු ඔහු පණපිටින් සිටින පක්ෂියාට නගරයෙන් පිටත එළිමහනේ පියාඹා යන්නට හැරිය යුතු ය. මෙලෙස ගෙය පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ විට එය පවිත්‍ර වනු ඇත.</verse>
				<verse number="54">“ඉහත දැක්වූයේ බෝවෙන චර්ම රෝග හා දද පිළිබඳ ව ද</verse>
				<verse number="55">වස්ත්‍රයක සහ ගෙදරක බෝවෙන චර්ම රෝග වැනි ලකුණු මතු වූ විට ද,</verse>
				<verse number="56">ඉදිමුමක්, තඩිස්සියක් හා පැල්ලමක් පිළිබඳ ව ද ඒවා කෙරෙහි බලපාන</verse>
				<verse number="57">අපවිත්‍ර දේ පවිත්‍ර දෙයින් වෙන් කිරීමට උගැන්වීමට ඉවහල් වන නීති වේ.”</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස් හා ආරොන් අමතමින්,</verse>
				<verse number="2">“ඉශ්රායෙල් ජනයාට කතා කොට ඔවුන්ට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “යමෙකුගේ ශරීරයෙන් පුරුෂ ධාතු මෝචනය වේ නම්, ඔහු අපවිත්‍ර කෙනෙකි.</verse>
				<verse number="3">ඔහුගේ ශරීරයෙන් පුරුෂ ධාතු පිට වී ගියා වේවා, එය එහි රැඳී තිබුණා වේවා, එවැන්නක් ඔහුට අපවිත්‍රකමක් ලෙස සලකනු ඇත.</verse>
				<verse number="4">එවැන්නෙකු සයනය කරන හැම යහනක් ම අපවිත්‍ර ය, වාඩි වන හැම අසුනක් ම අපවිත්‍ර ය.</verse>
				<verse number="5">යමෙකු එවැන්නෙකුගේ යහන ස්පර්ශ කළොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන, ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර යයි සැලකෙනු ඇත.</verse>
				<verse number="6">එවැන්නෙකු වාඩි වූ අසුනක යමෙකු වාඩි වුණොත්, මොහු තම ඇඳුම් සෝදාගෙන, ජලස්නානය කළ යුතු ය. මොහු සවස දක්වා අපවිත්‍ර යයි සැලකෙනු ඇත.</verse>
				<verse number="7">යමෙකු එවැන්නෙකුගේ ඇඟ ස්පර්ශ කළොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍රය යයි සැලකෙනු ඇත.</verse>
				<verse number="8">එවැන්නෙකු පවිත්‍ර යයි සැලකෙන යමෙකුට කෙළ ගැසුවොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර යයි සැලකෙනු ඇත.</verse>
				<verse number="9">එවැන්නෙකු නැඟී යන සෑදලය අපවිත්‍ර ය.</verse>
				<verse number="10">එවැන්නෙකු වාඩිගත් ආසනයක් යමෙකු ස්පර්ශ කළොත්, ඔහු සවස දක්වා අපවිත්‍ර ය. යමෙකු එවැන්නෙකු වාඩිගත් යමක් උස්සාගෙන ගියොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.</verse>
				<verse number="11">මෝචනය ඇති කෙනෙකු වතුරෙන් අත් නොසෝදා, වෙන කෙනෙකු ස්පර්ශ කළොත්, ඒ තැනැත්තා තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.</verse>
				<verse number="12">එවැන්නෙකු මැටි බඳුනක් ස්පර්ශ කළොත්, එය බිඳදැමිය යුතු ය. එසේ ම එවැන්නෙකු ස්පර්ශ කරන සෑම ලී බඳුනක් ම වතුරෙන් සේදිය යුතු ය.</verse>
				<verse number="13">“අධික මෝචනය ඇති කෙනෙකු ඉන් සුව වූ විට, හත් දිනක් ගත වූ පසු ඔහු තම ඇඳුම් සෝදාගෙන, ගලා බසින පිරිසිදු වතුරෙන් ස්නානය කළ විට පවිත්‍ර වනු ඇත.</verse>
				<verse number="14">අට වන දින ඔහු කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවියන් දෙදෙනෙකු හෝ ගෙන සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ වෙත පැමිණ ඒවා පූජකවරයාට දිය යුතු ය.</verse>
				<verse number="15">පූජකවරයා එක පඬුරක් පාප පූජාවක් සඳහා ද අනික දවන යාග පූජාවක් සඳහා ද ඔප්පු කළ යුතු ය. මෙලෙස ඔහු ඔප්පු කරමින් ඒ තැනැත්තාගේ මෝචනය උදෙසා පවිත්‍ර වීමේ පිළිවෙත සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඉටු කළ යුතු ය.</verse>
				<verse number="16">“යම් පුරුෂයෙකුට ධාතු මෝචනය ඇති වුවහොත්, ඔහු ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.</verse>
				<verse number="17">පුරුෂ ධාතු වැටුණු සෑම වස්ත්‍රයක් ම, සෑම සම් පිළියක් ම වතුරෙන් සේදිය යුතු ය. ඒවා සවස දක්වා අපවිත්‍ර වනු ඇත.</verse>
				<verse number="18">පුරුෂයෙකු ස්ත්‍රියක සමඟ සයනය කළ පසු, දෙදෙනා ම ජලස්නානය කළ යුතු ය. සවස දක්වා ඔවුන් අපවිත්‍ර වනු ඇත.</verse>
				<verse number="19">“යම්කිසි ස්ත්‍රියකට මාසික ඔසප් වීම වූ විට ඈ හත් දිනක් අපවිත්‍ර වී සිටින්නී ය. යමෙකු ඈ ස්පර්ශ කළොත්, ඔහු සවස දක්වා අපවිත්‍ර වේ.</verse>
				<verse number="20">ඇගේ ඔසප් වීමේ කාලයේ දී ඈ සයනය කරන, වාඩි වන, සෑම බඩුවක් ම අපවිත්‍ර වේ.</verse>
				<verse number="21">යමෙකු ඇගේ යහන ස්පර්ශ කළොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු වේ. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.</verse>
				<verse number="22">යමෙකු ඈ වාඩි වූ අසුනක් ස්පර්ශ කළොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.</verse>
				<verse number="23">යමෙකු ඇගේ යහන වේවා, ඈ වාඩි වූ ඕනෑ ම දෙයක් වේවා, ස්පර්ශ කළොත්, ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.</verse>
				<verse number="24">ඒ කාලය තුළ දී යම් පුරුෂයෙකු ඈ සමඟ සයනය කර ඇගේ අපවිත්‍රතාවය ඔහු පිටට පැමිණියහොත්, ඔහු හත් දිනක් අපවිත්‍ර වේ. ඔහු සයනය කරන යහන ද අපවිත්‍ර වනු ඇත.</verse>
				<verse number="25">“යම්කිසි ස්ත්‍රියකගේ ඔසප් වීමේ නියමිත කාලයෙන් පිට දින ගණනාවක් තුළ ද නියම කාලයෙන් පසු ද පවා ලේ ගලා යාම වුවහොත්, ඒ මුළු කාලය තුළ ම, ඇගේ ඔසප් වීමේ කාලයේ මෙන් ම, ඈ අපවිත්‍ර වන්නී ය.</verse>
				<verse number="26">ඒ මුළු කාලය තුළ ම, ඈ සයනය කරන සෑම යහනක් ම, වාඩි වන සෑම අසුනක් ම, ඇගේ ඔසප් වීමේ කාලය තුළ දී මෙන් අපවිත්‍ර වනු ඇත.</verse>
				<verse number="27">යමෙක් ඒ බඩු භාණ්ඩ ස්පර්ශ කරන්නේ ද ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.</verse>
				<verse number="28">එහෙත්, ඇගේ ඒ ලේ ගලා යාම සුව වී හත් දිනකට පසු, ඈ පවිත්‍ර වනු ඇත.</verse>
				<verse number="29">අට වන දින ඈ කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවියන් දෙදෙනෙකු හෝ ගෙන සම්මුඛ මණ්ඩපයේ දොරකඩ පූජකවරයා වෙත ගෙනා යුතු ය.</verse>
				<verse number="30">පූජකවරයා එක පූජාවක් පාප පූජාව පිණිස ද අනික් පූජාව දවන යාග පූජාවක් පිණිස ද ඔප්පු කළ යුතු ය. මෙසේ ඔහු ඇගේ ලේ ගලා යෑමෙන් පවිත්‍ර කිරීමේ පිළිවෙත සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඉටු කරන්නේ ය.</verse>
				<verse number="31">“මෙලෙස ඉශ්රායෙල් ජනයා අතර ඇති මාගේ මණ්ඩපය ඔවුන් කෙලෙසා, ඔවුන්ගේ අපවිත්‍රකම් නිසා ඔවුන් නොමැරෙන පිණිස, නුඹ ඔවුන්ට මේ අපවිත්‍රකම් ගැන උපදෙස් දිය යුතු ය.</verse>
				<verse number="32">“මේ දක්වන ලදුයේ, යමෙකුට මෝචනය ඇති වන කල ද පුරුෂ ධාතු මෝචනය වීමෙන් කෙලෙසෙන විට ද</verse>
				<verse number="33">ඔසප් වීමෙන් කාන්තාවන් අපවිත්‍ර වන විට ද පුරුෂයෙකුට මෝචනය වන විට ද ස්ත්‍රියකට ලේ ගලා යාම ඇති වන විට ද අපවිත්‍ර යයි සැලකෙන, ස්ත්‍රියක සමඟ සේවනයෙහි යෙදෙන කෙනෙකු පිළිබඳ ව ද වලංගු නීති වේ.”</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">ආරොන්ගේ පුත්‍රයන් දෙදෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නීති විරෝධි ගිනි ඔප්පු කොට මළ පසු, සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා,</verse>
				<verse number="2">“නුඹ සහෝදර ආරොන්ට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “නියමිත කාලයේ දී පමණක් ඔහු තිරය පිටුපස තබා ඇති ගිවිසුම් කරඬුව මත පිහිටි කරුණාසනය ඉදිරියේ ශුද්ධස්ථානයට ඇතුළු විය යුතු ය. මෙය කඩ කළොත්, ඔහු මිය යනු ඇත. මන්ද, මම කරුණාසනය මත වලාකුළක දර්ශනය වන්නෙමි.</verse>
				<verse number="3">ඔහු ශුද්ධස්ථානයට ඇතුළු වන විට පාප පූජාවක් සඳහා ගොන් වස්සෙකු ද දවන යාග පූජාවක් සඳහා බැටළුවෙකු ද ගෙන ආ යුතු ය.</verse>
				<verse number="4">“ඔහු පූජක හණ කබාය හැඳ, හණ කලිසම් ලාගෙන, හණ පටිය ඉණ වටා බැඳ, හණ මකුටයෙන් සැරසී සිටිය යුතු ය. මේවා ශුද්ධ වස්ත්‍ර වන බැවින්, ඒවා ලාගත යුත්තේ ජලස්නානය කළ පසුව ය.</verse>
				<verse number="5">මුළු ඉශ්රායෙල් ජනයා ඔහුට පාප පූජාවක් සඳහා එළුවන් දෙදෙනෙකු ද දවන යාග පූජාවක් සඳහා එක බැටළුවෙකු ද දිය යුතු ය.</verse>
				<verse number="6">ආරොන් තමා උදෙසා පුදන පාප පූජාවේ ගොන් වස්සා ඔප්පු කොට, තමා උදෙසාත්, තමාගේ ගෘහයේ වැසියන් උදෙසාත් පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.</verse>
				<verse number="7">ඔහු එළුවන් දෙදෙනා ගෙන සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්විය යුතු ය.</verse>
				<verse number="8">ඉන්පසු ඔහු සමිඳාණන් වහන්සේට එකෙකු ද අශාශෙල්ට හෙවත් කාන්තාර යක්ෂයාට එකෙකු ද වශයෙන් තෝරාගැනීම සඳහා, එළුවන් දෙදෙනාට දාදු දැමිය යුතු ය.</verse>
				<verse number="9">ආරොන් සමිඳාණන් වහන්සේට පිදීමට දාදුව වැටුණ එළුවා ගෙන, පාප පූජාවක් සඳහා ඌ පිදිය යුතු ය.</verse>
				<verse number="10">එහෙත්, අශාශෙල්ට දීමට දාදු වැටුණු එළුවා, පණපිටින් ම සමිඳාණන් වහන්සේට ඉදිරිපත් කොට, පව් කමාව ලබාගැනීම සඳහා ඌට පාළුකරයට යෑමට ඉඩ හැරිය යුතු ය.</verse>
				<verse number="11">“ඉන්පසු ආරොන් තමා උදෙසා පුදන පාප පූජාවේ ගොන් වස්සා ගෙන තමා උදෙසා ද ගෙදර වැසියන් උදෙසා ද පව් කමාවේ පිළිවෙත ඉටු කර ඌ මැරිය යුතු ය.</verse>
				<verse number="12">ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජාසනයෙන් දැල්වෙන ගිනි අඟුරු ගෙන දුම් බඳුනක් පුරවා, හොඳට කුඩු කළ සුවඳ ද්‍රව්‍ය අහුරු දෙකක් ද ගෙන, තිරය පිටුපසට පැමිණ</verse>
				<verse number="13">උන් වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් වලාකුළකින් ගිවිසුම් කරඬුව උඩ ඇති කරුණාසනය වැසෙන පිණිස ගිනි අඟුරු මත සුවඳ ද්‍රව්‍ය දැමිය යුතු ය. මෙසේ කළොත්, ඔහු මැරෙන්නේ නැත.</verse>
				<verse number="14">ඉන්පසු ඔහු ගොන් වස්සාගේ ලෙය ඇඟිල්ලෙන් ගෙන, කරුණාසනයේ නැගෙනහිර පැත්තට ඉස, එහි ඉස්සරහ පැත්තට ද හත්වරක් ඉසිය යුතු ය.</verse>
				<verse number="15">මෙසේ කළ පසු ඔහු සෙනඟ උදෙසා ඇති පාප පූජාවේ එළුවා මරා, තිරය පිටුපසට උගේ ලේ ගෙනැවිත්, ගොන් වස්සාගේ ලේ ගෙන කළ පරිදි, කරුණාසනය උඩටත්, ඉස්සරහටත් ලේ ඉසිය යුතු ය.</verse>
				<verse number="16">මෙසේ ඔහු ඉශ්රායෙල් ජනයාගේ අපවිත්‍රකම් හා ඔවුන්ගේ පාප අපරාධයන් නිසා කළ යුතු ව ඇති ශුද්ධස්ථානයෙහි පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. තවද, ඔවුන්ගේ අපවිත්‍රකම් මධ්‍යයේ පිහිටා ඇති සම්මුඛ මණ්ඩපයට ද ඔහු එලෙස කළ යුතු ය.</verse>
				<verse number="17">ආරොන් පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කරනු පිණිස ශුද්ධස්ථානයට ඇතුළු වී, තමා උදෙසාත්, තමාගේ ගෘහ වාසීන් උදෙසාත්, මුළු ඉශ්රායෙල් ජනතාව උදෙසාත් පව් කමා වීමේ පිළිවෙත ඉටු කර, පිටතට එන තෙක් කිසිවෙකු සම්මුඛ මණ්ඩපයට ඇතුළු නොවිය යුතු ය.</verse>
				<verse number="18">පසුව ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දවන යාග පුදන පූජාසනය වෙත ගොස් එය උදෙසා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. ඔහු ගොන් වස්සාගේ ලේ මඳක් ද එළුවාගේ ලේ මඳක් ද ගෙන පූජාසනය වටේට ඇති අංවල තැවරිය යුතු ය.</verse>
				<verse number="19">ඒවා මත සිය ඇඟිල්ලෙන් හත්වරක් ලේ ඉසිමින්, ඒවා පවිත්‍ර කළ යුතු ය. මෙලෙස ඉශ්රායෙල් ජනයාගේ අපවිත්‍රකමින් ඒවා විශුද්ධ කළ යුතු ය.”</verse>
				<verse number="20">“ආරොන් මෙසේ ශුද්ධස්ථානය ද සම්මුඛ මණ්ඩපය ද පූජාසනය ද පිළිබඳ පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කර හමාර කළ පසු, ඔහු පණපිටින් සිටින එළුවා ගෙන ආ යුතු ය.</verse>
				<verse number="21">ඔහු උගේ හිස මත අත් දෙක තබා ඉශ්රායෙල් ජනයාගේ දුෂ්ටකම් සහ නපුරුකම් වන සියලු පාප ඌ මත උච්චාරණය කොට, ඒ සඳහා පත් කළ කෙනෙකුට බාර දී ඌ පාළුකරයට ගෙන යන්නට හැරිය යුතු ය.</verse>
				<verse number="22">එළුවාට ද ඔවුන්ගේ සියලු දුෂ්ටකම් දරාගෙන, ජන වාසයක් නැති පාළුකරයට යන්නට හැරිය යුතු ය.</verse>
				<verse number="23">“ඉන්පසු ආරොන් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වී ශුද්ධස්ථානයට යන විට, ලාගෙන සිටි හණ වස්ත්‍ර ලිහා ඒවා එහි තැබිය යුතු ය.</verse>
				<verse number="24">මෙසේ තමා ශුද්ධස්ථානයෙහි ම ජලස්නානය කොට, තමාගේ ඇඳුම් ලාගෙන, පිටතට අවුත් තමා උදෙසා ද සෙනඟ උදෙසා ද තමාගේ දවන යාග පූජාවත්, සෙනඟගේ දවන යාග පූජාවත් පව් කමා කිරීමක් වශයෙන් ඔප්පු කළ යුතු ය.</verse>
				<verse number="25">පසුව පාප පූජාවට ගත් සතාගේ තෙල පූජාසනය මත දැවිය යුතු ය.</verse>
				<verse number="26">පාපයන් දරාගෙන අශාශෙල් වෙත පාළුකරයට ගිය එළුවා දක්කාගෙන ගිය තැනැත්තා ද තම ඇඳුම් සෝදාගෙන, ජලස්නානය කොට කඳවුරට පැමිණිය යුතු ය.</verse>
				<verse number="27">ශුද්ධස්ථානය පිළිබඳ පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කිරීමට ලේ ගෙනෙන ලද, පාප පූජාවට පිදූ ගොන් වස්සා සහ එළුවා කඳවුරින් පිටතට ගෙනගොස්, උන්ගේ හම්, මස්, අතුණු සහ ගොම ගින්නේ පිළිස්සිය යුතු ය.</verse>
				<verse number="28">එලෙස පුළුස්සන්නා ද තම ඇඳුම් සෝදාගෙන, ජලස්නානය කොට කඳවුරට පැමිණිය යුතු ය.”</verse>
				<verse number="29">“පහත දක්වන නියෝගය නුඹලා කෙරෙහි සදහට ම වලංගු වේ: එනම්, හත් වන මාසයේ දස වන දින ඉශ්රායෙල් ජනයා වන නුඹලා ද නුඹලා අතර වසන විදේශීන් ද උපවාසයෙහි යෙදෙමින්, බර වැඩ කිරීමෙන් වැළකිය යුතු ය.</verse>
				<verse number="30">එදින පූජකවරයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නුඹලාගේ සියලු පාපවලින් නුඹලා පවිත්‍ර කරනු පිණිස, පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.</verse>
				<verse number="31">එදින නුඹලාට මහා සබත් දිනයක් වනු ඇත. එදින නුඹලා වැඩ නොකළ යුතු ය. නුඹලා උපවාස කළ යුතු ය. මෙය සදහට ම වලංගු නියෝගයකි.</verse>
				<verse number="32">තම පියා වෙනුවට පූජක නිලයේ සේවා කරනු පිණිස පූජකවරය ලබමින් ආලේප කරනු ලබන පූජකවරයා හණ පිළියෙන් සෑදූ ශුද්ධ වස්ත්‍ර ලාගෙන පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.</verse>
				<verse number="33">මෙසේ ඔහු අතිශුද්ධස්ථානය, සම්මුඛ මණ්ඩපය සහ පූජාසනය පිළිබඳ පව් කමා කිරීමේ පිළිවෙත ද පූජකවරුන් හා මුළු සෙනඟගේ පව් කමා කිරීමේ පිළිවෙත ද ඉටු කළ යුතු ය.</verse>
				<verse number="34">මෙය වනාහි අවුරුද්දකට වරක් ඉශ්රායෙල් ජනයාගේ සියලු පාප කමා කිරීම පිණිස ඉටු කළ යුතු නුඹලා කෙරෙහි සදහට ම වලංගු නියෝගයකි.” සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාළ ලෙස ඔහු ද ඒවා ඉටු කෙළේ ය.</verse>
			</chapter>
			<chapter number="17">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්,</verse>
				<verse number="2">“ආරොන්ට ද ඔහුගේ පුත්‍රයන්ට හා මුළු ඉශ්රායෙල් ජනයාට ද කතා කොට, ‘සමිඳාණන් වහන්සේ මෙය අණ කළ සේක කියා පවසන්නැ’යි මෙසේ වදාළ සේක.</verse>
				<verse number="3">‘ඉශ්රායෙල් ජනයා අතරෙන් යමෙක් ගොනෙකු හෝ බැටළු පැටවෙකු හෝ එළුවෙකු හෝ සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි උන් වහන්සේට පූජා කිරීමට සම්මුඛ මණ්ඩපයේ දොරකඩට නොගෙන, කඳවුර ඇතුළත හෝ ඉන් පිටත හෝ ඌ මරන්නේ නම්, ඔහු තමා වැගුරූ ලේ ගැන වගකිව යුතු ය. ඔහු ලේ සිඳ හෙළූ බැවින් සිය සෙනඟ කෙරෙන් ඔහු නෙරපාදැමිය යුතු ය.</verse>
				<verse number="4">***</verse>
				<verse number="5">මෙම නියෝගයේ තේරුම නම්, ඉශ්රායෙල් ජනයා යාග පූජා පිණිස එළිමහනේ මරන්නට පුරුදු ව සිටිය සතුන් සමිඳාණන් වහන්සේ වෙත රැගෙන යා යුතු බව ය. තවද, ඔවුන් එම සතුන් සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සිටින පූජකවරයා වෙත ගෙනවුත්, සහභාගිකමේ පූජා වශයෙන් සමිඳාණන් වහන්සේට පිදීමට එහි දී උන් මැරිය යුතු ය.</verse>
				<verse number="6">පූජකවරයා සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේගේ පූජාසනය මත ලේ ඉස, සතුන්ගේ ලේ සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් මෙන් දැවිය යුතු ය.</verse>
				<verse number="7">තවද, ඔවුන් යකුන් පසුපස ගොස් මට අවිශ්වාසවන්ත වී ඔවුන් වැළඳගෙන ඔවුන්ට පුද කළ පරිදි මින්පසු තවත් පූජා නොකළ යුතු ය. මෙය නුඹේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි.</verse>
				<verse number="8">‘ඔබ ඔවුන්ට මෙසේ ද කියන්න, ඉශ්රායෙල් ජනයා අතර යමෙක් වේවා, ඔබ අතර වසන විදේශිකයෙක් වේවා, දවන යාග පූජාවක් හෝ පඬුරක් හෝ සමිඳාණන් වහන්සේට පුදන්නේ නම්,</verse>
				<verse number="9">සමිඳාණන් වහන්සේට ඔප්පු කරනු පිණිස ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරකඩට එය ගෙනා යුතු ය. එසේ නොකළොත්, ඔහු තම සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.</verse>
				<verse number="10">‘ඉශ්රායෙල් ජනයා අතරෙන් යමෙක් වේවා, ඔවුන් අතර වසන විදේශිකයෙක් වේවා, ලේ සහිත මාංස කෑමට ගතහොත්, එසේ කන තැනැත්තාට විරුද්ධ ව මාගේ මුහුණ හරවා ගනිමින් ඔහු තම සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.</verse>
				<verse number="11">මන්ද, සත්ත්වයෙකුගේ ප්‍රාණය ඇත්තේ ලේවල ය. නුඹලාගේ පාපවලට, පූජාසනය මත පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කිරීමට මා නුඹලාට එය දී ඇත. පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කරන්නේ ලේ මඟිනි.</verse>
				<verse number="12">ඉශ්රායෙල්ගේ ජනයා අතර යමෙකුට වේවා, ඔවුන් අතර වසන විදේශිකයෙකුට වේවා, ලේ කෑමට ගැනීම මා තහනම් කර ඇත්තේ ඒ නිසා ය.</verse>
				<verse number="13">‘ඉශ්රායෙල් ජනයා අතර යමෙක් වේවා, ඔබ අතර වසන විදේශිකයෙක් වේවා, කෑමට අවසර ඇති මෘගයෙකු හෝ පක්ෂියෙකු හෝ දඩයම් කර අල්ලා ගතහොත්, උගේ ලේ ගලා යන්නට හැර, එය පස්වලින් වසාදැමිය යුතු ය.</verse>
				<verse number="14">මන්ද, සෑම සත්ත්වයෙකුගේ ප්‍රාණය ඇත්තේ ලේවල ය. එබැවින් මම ඉශ්රායෙල් ජනයා අමතා, ‘ලේ සහිත කිසි ම මාංසයක් අනුභව නොකළ යුතු ය. සෑම සත්ත්වයෙකුගේ ප්‍රාණය රඳා ඇත්තේ එහි ඇති ලේ පිට ය. යමෙක් එවැන්නක් කන්නේ ද ඔහු නෙරපාදමනු ඇතැ’යි කීවෙමි.</verse>
				<verse number="15">‘ඉශ්රායෙල් ජාතිකයෙක් හෝ විදේශිකයෙක් හෝ වේවා, ඉබේ ම මැරුණු හෝ වන සතුන් විසින් මරාදමනු ලැබූ හෝ මෘගයෙකුගේ මාංස කෑවොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර ය. ඉන්පසු පවිත්‍ර යයි සැලකෙනු ඇත.</verse>
				<verse number="16">ඔහු ඇඳුම් සෝදාගෙන ජලස්නානය නොකළොත්, තමාගේ වරද ගැන වගකිව යුතු ය.’ ”</verse>
			</chapter>
			<chapter number="18">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා,</verse>
				<verse number="2">“ඉශ්රායෙල් ජනයාට කතා කොට ඔවුන්ට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.</verse>
				<verse number="3">නුඹලා වාසය කළ මිසර දේශයෙහි වැසියන්ගේ ක්‍රියා නුඹලා අනුගමනය නොකළ යුතු ය. තවද, මා නුඹලා පමුණුවන්නට යන කානාන් දේශයේ වැසියන්ගේ ක්‍රියා ද අනුගමනය නොකළ යුතු ය. ඔවුන්ගේ නියෝගයන්ට ද කීකරු නොවිය යුතු ය.</verse>
				<verse number="4">නුඹලා මාගේ විනිශ්චයයන් ඉටු කරමින්, නියෝග පවත්වමින් ඒවාට කීකරු විය යුතු ය. මම වනාහි නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.</verse>
				<verse number="5">මාගේ නීති හා විනිශ්චයයන් නුඹලා පිළිපැදිය යුතු ය. යමෙක් ඒවා ඉටු කරන්නේ ද ඔහු ඒ මඟින් ජීවත් වනු ඇත. මම සමිඳාණන් වහන්සේ වෙමි.</verse>
				<verse number="6">“නුඹලාගෙන් කිසිවෙකු කිට්ටු ඥාතියෙකුගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ ය.</verse>
				<verse number="7">නුඹේ මවගේ නිරුවත අනාවරණය කොට නුඹේ පියාට නින්දා නොකළ යුතු ය. ඈ නුඹේ මව බැවින් ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.</verse>
				<verse number="8">නුඹේ පියාගේ බිරිඳකගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. එසේ කිරීම නුඹේ පියාට කරන නින්දාවකි.</verse>
				<verse number="9">ගෙදර උපන් හෝ අන් තැනක උපන් හෝ නුඹේ පියාගේ හෝ මවගේ හෝ දුව වන නුඹේ සහෝදරියගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.</verse>
				<verse number="10">නුඹේ පුතෙකුට උපන් හෝ දුවකට උපන් හෝ නුඹේ මිණිබිරියකගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. එය නුඹට ම කරගන්න නින්දාවකි.</verse>
				<verse number="11">නුඹේ පියාට දාව උපන්, ඔහුගේ වෙන කසාදයක දුව, නුඹේ සොහොයුරිය වන බැවින්, ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.</verse>
				<verse number="12">නුඹේ පියාගේ සොහොයුරිය, නුඹේ පියාගේ කිට්ටු නෑයෙකු බැවින් ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.</verse>
				<verse number="13">නුඹේ මවගේ සොහොයුරිය, නුඹේ මවගේ කිට්ටු නෑයෙකු බැවින්, ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.</verse>
				<verse number="14">නුඹේ පියාගේ සහෝදරයාගේ බිරිඳ නුඹේ කුඩම්මා වන බැවින් ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.</verse>
				<verse number="15">නුඹේ ලේලි, නුඹේ පුතාගේ බිරිඳ වන බැවින්, ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.</verse>
				<verse number="16">නුඹේ සහෝදරයාගේ බිරිඳගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. එය ඔහුට කරන නින්දාවකි.</verse>
				<verse number="17">නුඹ යම් ස්ත්‍රියකගේ නිරුවත අනාවරණය කළ පසු ඇගේ දුවගේ හෝ ඇගේ මිණිබිරියගේ හෝ නිරුවත අනාවරණය නොකළ යුතු ය. ඔවුන් කිට්ටු නෑයන් වන බැවින් එසේ කිරීම දුෂ්ටකමකි.</verse>
				<verse number="18">නුඹේ භාර්යාව ජීවත් ව සිටිය දී, ඇගේ සහෝදරිය තවත් භාර්යාවක වශයෙන් පාවාගෙන ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.</verse>
				<verse number="19">“යම් ස්ත්‍රියකගේ ඔසප් වීමේ කාලයේ දී ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.</verse>
				<verse number="20">තවද, වෙනත් මිනිසෙකුගේ භාර්යාවක සමඟ සයනය නොකරන්න. එසේ කළොත්, ඔබ කෙලෙසෙනු ඇත.</verse>
				<verse number="21">නුඹේ දෙවියන් වහන්සේට අපහාස නොකළ යුතු බැවින්, නුඹ කිසි ම දරුවෙකු මොලෙක් නම් දෙවියාට පූජා නොකළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ ය.</verse>
				<verse number="22">නුඹ ස්ත්‍රියක සමඟ සයනය කරන අයුරින් ම පිරිමියෙකු සමඟ ද නොහැසිරිය යුතු ය. මෙසේ කිරීම පිළිකුලකි.</verse>
				<verse number="23">නුඹ හෝ කිසි ම ස්ත්‍රියක හෝ මෘගයෙකු සමඟ මෛථූනයෙහි නොයෙදිය යුතු ය. එසේ කිරීම අස්වාභාවික දූෂණයකි.</verse>
				<verse number="24">“මෙවැනි ක්‍රියා කිසිවකින් නුඹ කෙලෙසා නොගන්න. මෙවැනි දේ කිරීමෙන් විජාතීහු තමන් කෙලෙසාගත්හ. නුඹලා යන්නට කලින් මම ඔවුන් ඒ රටින් පන්නාදමමි.</verse>
				<verse number="25">ඔව්හු එසේ හැසිර දේශය කෙලෙසාගත්හ. එබැවින් මම ඔවුන්ගේ දුෂ්ටකමට දඬුවම් දෙමි. ඒ දේශය පවා තම වැසියන් නෙරපා දමන්නේ ය.</verse>
				<verse number="26">එබැවින් නුඹලා මාගේ නීති ද විනිශ්චයයන් ද පවත්වා මෙවැනි කිසි ම පිළිකුල් ක්‍රියාවක් නොකටයුතු ය. නුඹලා අතරෙන් යමෙකු හෝ නුඹලා අතර වසන ඕනෑ ම විදේශිකයෙකු හෝ එවැන්නක් නොකළ යුතු ය.</verse>
				<verse number="27">නුඹලාට කලින් ඒ දේශවාසීහු මේ සියලු පිළිකුල්කම් කළහ. එසේ කිරීමෙන් දේශය දූෂ්‍ය විය.</verse>
				<verse number="28">නුඹලාට කලින් ඔවුන් එසේ කර, දේශය එහි වැසියන් නෙරපාදැමී ය. එලෙස ම නුඹලාත් දේශය කෙලෙසුවොත්, දේශය නුඹලාත් නෙරපාදමනු ඇත. එබැවින් එලෙස නොකිරීමට වග බලාගත යුතු ය.</verse>
				<verse number="29">යමෙකු මෙවැනි පිළිකුල්කම් කිසිවක් කළොත්, එවැන්නෙකු ඔවුන්ගේ සෙනඟ අතරෙන් නෙරපාදමනු ලැබිය යුතු ය.</verse>
				<verse number="30">“එබැවින් නුඹලා මාගේ නියෝගයන් පිළිපැදිය යුතු ය. නුඹලාට කලින් කරන ලද මෙකී පිළිකුල් සිරිත්වලින් කිසිවක් නුඹලා නොකළ යුතු ය. එවිට ඒවායින් නුඹලා කෙලෙසා නොගන්නහු ය. මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.”</verse>
			</chapter>
			<chapter number="19">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා,</verse>
				<verse number="2">මුළු ඉශ්රායෙල් ජනතාවට කතා කොට ඔවුන්ට කියන ලෙස මෙසේ වදාළ සේක: “නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ශුද්ධ බැවින් නුඹලා ද ශුද්ධ ව සිටිය යුතු ය.</verse>
				<verse number="3">නුඹලා එකිනෙකා තම තමාගේ පියාට හා මවට ගෞරව දැක්විය යුතු ය. සබත් දවස පැවැත්විය යුතු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.</verse>
				<verse number="4">“බොරු දේව පිළිම වෙත නොහැරෙන්න; ලෝහයෙන් වාත්තු කළ දෙවිවරුන් සාදා නොගන්න. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.</verse>
				<verse number="5">“නුඹලා සමිඳාණන් වහන්සේට සහභාගිවීමේ පූජාවක් ඔප්පු කරන්නහු නම්, නුඹලා පිළිගනු ලබනු පිණිස එය නිසි ලෙස පුදන්න.</verse>
				<verse number="6">සතා මැරූ දවසේ ම නැතහොත් පසු දින උගේ මස් අනුභව කළ යුතු ය. තුන් වන දින දක්වා යමක් ඉතිරි වුවහොත්, එය ගින්නේ දැවිය යුතු ය.</verse>
				<verse number="7">තුන් වන දින එයින් අනුභව කිරීම පිළිකුලකි. එම පූජාව ද පිළිගනු නොලැබේ.</verse>
				<verse number="8">යමෙකු එයින් අනුභව කළොත්, සමිඳාණන් වහන්සේට කැප කළ දේ කෙලෙසූ බැවින් තම දුෂ්ටකම ගැන වගකිව යුතු ය. එවැන්නෙක් තම සෙනඟ අතරින් නෙරපාදමනු ලැබේ.</verse>
				<verse number="9">“නුඹලාගේ කෙත්වලින් අස්වැන්න නෙළන විට, කෙත්වල මායිමේ තිබෙන අස්වැන්න සම්පූර්ණයෙන් ම කපා නොගත යුතු ය. අස්වැන්න වරක් නෙළාගත් පසු ඉතිරි වූ කරල් එකතු කර නොගන්න.</verse>
				<verse number="10">එලෙස ම මිදි වත්තෙන් ඉතිරි වූ මිදි පල සියල්ල ම නෙළා නොගන්න. තවද, මිදි වත්තේ වැටී තිබෙන මිදි පල ද එකතු කර නොගත යුතු ය. ඒවා දුප්පතුන් සඳහා ද විදේශිකයන් සඳහා ද ඉතුරු කළ යුතු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.</verse>
				<verse number="11">“නුඹලා සොරකම් නොකළ යුතු ය. වංචා නොකළ යුතු ය. කෙනෙකු අනෙකකුට බොරු නොකිව යුතු ය.</verse>
				<verse number="12">තවද, නුඹලා මාගේ නාමයෙන් බොරුවට නොදිවුළ යුතු ය. දෙවියන් වහන්සේගේ නාමයට නුඹලා අපහාස නොකළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.</verse>
				<verse number="13">“නුඹලා අසල්වැසියාගෙන් අයුතු ලෙස වාසි නොගත යුතු ය. ඔහුගෙන් කොල්ලකෑම යුතු නැත. කම්කරුවාගේ වේතනය ඔහුට නොදී පසුදා උදේ වන තුරු එය නුඹලා ළඟ තබා නොගත යුතු ය.</verse>
				<verse number="14">බිහිරි කෙනෙකුට සාප නොකළ යුතු ය. අන්ධ කෙනෙකු යන මඟ හරහා අවහිරයක් නොතැබිය යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට ගරුබිය පෑ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.</verse>
				<verse number="15">“නඩු තීන්දුවක් දෙන විට සාධාරණ ව සිටිය යුතු ය. දිළින්දාගේ පහත් තත්ත්වය වත්, බලවතාගේ උසස් තත්ත්වය වත් නොසලකා, සාධාරණ ලෙස නුඹේ අසල්වැසියා විනිශ්චය කළ යුතු ය.</verse>
				<verse number="16">සෙනඟ අතර ගතු කේලාම් දොඩමින් ඔබමොබ නොයා යුතු ය. යමෙකු මරණයට තීන්දු විය හැකි නඩුවක දී, නුඹේ සාක්ෂියෙන් ඔහුගේ පණ බේරාගැනීමට ඉඩ තිබේ නම්, එය කියා පෑ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.</verse>
				<verse number="17">“නුඹේ සහෝදරයාට විරුද්ධ ව හිතේ ක්‍රෝධය තබා නොගත යුතු ය. අසල්වැසියාගේ වරදක් ඇත්නම්, නොසඟවා ඔහුට කිව යුතු ය. එවිට ඔහු නිසා නුඹ පාපයට නොවැටෙනු ඇත.</verse>
				<verse number="18">කෙනෙකුගෙන් පළි නොගත යුතු ය. නුඹලාගේ ජනයාට විරුද්ධ ව බද්ධ වෛරයක් තබා නොගත යුතු ය. නුඹ නුඹට ප්‍රේම කරන ලෙස ම නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.</verse>
				<verse number="19">“මාගේ නීති නුඹලා ඉටු කළ යුතු ය. නුඹලාගේ ගවයන්ට වෙන වර්ගයක සතුන් සමඟ පට්ටි ගැසීමට ඉඩ නොදිය යුතු ය. දෙවර්ගයක ධාන්‍ය බීජ නුඹලාගේ කෙතේ නොවැපිරිය යුතු ය. හණ සහ ලෝම මිශ්‍ර ව සාදන ලද වස්ත්‍රයක් ද ඇඟලා නොගත යුතු ය.</verse>
				<verse number="20">“යමෙකු තම වහල් දාසිය යම් කෙනෙකුට අනියම් බිරිඳ වශයෙන් විකුණන්නට පොරොන්දු වූ නමුත්, මේ තැනැත්තා ඈ සඳහා වන්දි මුදල නොගෙවා ද, ඈ නිදහස නොලබා ද සිටිය දී ඇගේ හිමියා ඈ සමඟ සයනය කළහොත්, දෙදෙනා ම මරණයට පත් නොකළ යුතු ය. එහෙත්, ඈ තවමත් ඔහුට අයිති බැවින් දෙදෙනාට ම දඬුවම් කළ යුතු ය.</verse>
				<verse number="21">ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ වෙත වන්දි ගෙවීමේ පූජාව වශයෙන් බැටළුවෙකු ගෙනා යුතු ය.</verse>
				<verse number="22">පූජකවරයා ඒ තැනැත්තා කළ පාපය උදෙසා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි වන්දි ගෙවීමේ පූජාවේ බැටළුවා ඔප්පු කරමින් ඔහු උදෙසා පව් කමාවේ පිළිවෙත ඉටු කළ යුතු ය. එවිට ඔහු කළ පාපය ඔහුට කමා කරනු ලැබේ.</verse>
				<verse number="23">“නුඹලා දේශයට පැමිණ, ආහාර සඳහා විවිධ ගස් වර්ග රෝපණය කළ පසු, පළමු අවුරුදු තුනේ දී ඒවායේ පල කෑම තහනම් ලෙස සැලකිය යුතු ය. ඒවා අනුභව නොකළ යුතු ය.</verse>
				<verse number="24">සතර වන අවුරුද්දේ දී ද ප්‍රශංසාවක් පිණිස මුළු පලදාව සමිඳාණන් වහන්සේට කැප කළ යුතු ය.</verse>
				<verse number="25">එහෙත්, පස් වන අවුරුද්දේ එහි පලදාව නුඹලාට කන්නට පුළුවන. මෙසේ කළොත්, එහි පලදාව ද වර්ධනය වනු ඇත. මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.</verse>
				<verse number="26">“යමක ලේ තිබිය දී නුඹලා එය කෑමට නොගත යුතු ය. නුඹලා අනවින සහ නිමිති නොසැලකිය යුතු ය.</verse>
				<verse number="27">නළලේ දෙකෙළවරේ හිසකෙස් අක්බඹුරු නොකළ යුතු ය. රැවුලේ අගිස් ද නොකැපිය යුතු ය.</verse>
				<verse number="28">මළගිය ඇත්තන් නිසා නුඹලාගේ සිරුරෙහි කැපුමක් නොකළ යුතු ය. ඇඟේ හමේ රූප කොටා නොගත යුතුය. මම සමිඳාණන් වහන්සේ වෙමි.</verse>
				<verse number="29">“නුඹේ දුව වෙසඟනක කොට අනාචාරයට දී ඇය දූෂණය නොකරන්න. එසේ කළොත්, දේශය අනාචාරයෙන් ද දුෂ්ටකමෙන් ද පිරී යනු ඇත.</verse>
				<verse number="30">මාගේ සබත් දවස් පවත්වා ශුද්ධස්ථානයට ගරු කළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.</verse>
				<verse number="31">“නුඹලා නොකෙලෙසෙන පිණිස ආත්ම බන්ධනකාරයන්ගෙන් ගුරුකම් ගන්න අය නොතකන්න. මන්ත්‍රකාරයන් සොයා නොයන්න. මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.</verse>
				<verse number="32">“වයස්ගත ඇත්තන් ඉදිරියෙහි නැඟිට සිට, මහල්ලන්ට ගරු කළ යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට ගරුබිය පාන්න, මම සමිඳාණන් වහන්සේ වෙමි.</verse>
				<verse number="33">“නුඹලාගේ දේශයෙහි වාසය කරන විදේශිකයෙකුට නුඹලා හිංසා නොකළ යුතු ය.</verse>
				<verse number="34">නුඹලා අතර වාසය කරන විදේශිකයා සැලකිය යුත්තේ, නුඹලා අතර උපන් කෙනෙකු මෙන් ය. නුඹලා නුඹලාට ප්‍රේම කරන ලෙස ම ඔහුට ද ප්‍රේම කළ යුතු ය. මිසර දේශයේ දී නුඹලා විදේශිකයන් මෙන් සිටි බව සිහි කරන්න. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.</verse>
				<verse number="35">“යමක දිග පළල, යමක බර, යමක ප්‍රමාණය තීරණය කිරීමේ දී නුඹලා අසාධාරණ ව ක්‍රියා නොකළ යුතු ය.</verse>
				<verse number="36">නුඹලා භාවිතා කළ යුත්තේ හරි තරාදි ද හරි පඩි ද නියම ද්‍රව, ද්‍රව්‍ය මිමි ද ආදිය ය. මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනා නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.</verse>
				<verse number="37">එබැවින් නුඹලා මාගේ නීති ද සියලු විනිශ්චයයන් ද පිළිපැදිය යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.”</verse>
			</chapter>
			<chapter number="20">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්,</verse>
				<verse number="2">“නැවත ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්නැ”යි වදාළ සේක: “ඉශ්රායෙල් ජනයා අතරෙන් යමෙකු හෝ ඉශ්රායෙල් ජනයා අතර වසන විදේශිකයෙකු හෝ තම දරුවෙකු මොලෙක් නම් දේවතාවා හට බිලි කළොත්, සෙනඟ ඔහුට ගල් ගසා ඔහු මරණයට පත් කළ යුතු ය.</verse>
				<verse number="3">එවැන්නෙකු සිය දරුවා මොලෙක්ට බිලි දුන් නිසා ද මාගේ ශුද්ධස්ථානය කෙලෙසූ නිසා ද මාගේ ශුද්ධ නාමය ගැරහූ නිසා ද මම ඔහුට විරුද්ධ වී ඔහුගේ සෙනඟ කෙරෙන් ඔහු නෙරපා දමමි.</verse>
				<verse number="4">දේශයේ ජනතාව එවැන්නෙකු තම දරුවා මොලෙක්ට බිලි දුන් පසුත් ඔහු නොමරා, යම් හෙයකින් එය නොසලකා හැරියොත්,</verse>
				<verse number="5">මම එවැන්නෙකුට ද එවැන්නෙකුගේ මුළු පවුලට ද මට අවිශ්වාසවන්ත වී මොලෙක් වැළඳගෙන ඔහුට පුද පූජා පවත්වන සියලු දෙනාට ද විරුද්ධ වී ඔවුන්ගේ සෙනඟ අතරෙන් ඔවුන් නෙරපා දමමි.</verse>
				<verse number="6">තවද, යමෙකු මට අවිශ්වාසවන්ත වී ආත්ම බන්ධනකාරයන්ගෙන් ගුරුකම් ගන්න අය හා මන්ත්‍රකාරයන් පසුපස ගියොත්, මම එවැන්නෙකුට විරුද්ධ වී ඔහුගේ සෙනඟ අතරෙන් ඔහු නෙරපා දමමි.</verse>
				<verse number="7">එබැවින් නුඹලා දෙවියන් වහන්සේට කැප වීමෙන් ශුද්ධ වන්න. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.</verse>
				<verse number="8">මාගේ නීති රක්ෂා කරමින් ඒවා ඉටු කළ යුතු ය. නුඹලා විශුද්ධ කරන සමිඳාණන් වහන්සේ මම වෙමි.</verse>
				<verse number="9">“එබැවින් යමෙකු තම පියාට හෝ මවට හෝ සාප කළොත්, ඔහු මරණයට පත් කරනු ලැබේ. ඔහු එවැන්නක් කළ බැවින් ඔහුගේ මරණය ගැන ඔහු ම වගකිව යුතු ය.</verse>
				<verse number="10">“යමෙකු වෙන කෙනෙකුගේ භාර්යාවක සමඟ පරදාර සේවනය කළොත්, දෙදෙනා ම මරණයට පත් කළ යුතුය.</verse>
				<verse number="11">යමෙකු තම පියාගේ භාර්යාවක සමඟ සයනය කළොත්, ඔහු තම පියාට නින්දා කරනු ඇත; ඒ දෙදෙනා ම මරණයට පත් කළ යුතු ය. තමන්ගේ මරණ ගැන ඒ දෙදෙනා ම වගකිව යුතු ය.</verse>
				<verse number="12">යමෙකු තම ලේලි සමඟ සයනය කළොත්, ඒ දෙදෙනා ම මරණයට පත් කළ යුතු ය. ඔවුන් අස්වාභාවික දෙයක් කළ බැවින් තමන්ගේ මරණ ගැන ඔවුන් වගකිව යුතු ය.</verse>
				<verse number="13">යම් පුරුෂයෙකු ස්ත්‍රියක සමඟ සයනය කරන ලෙස ම පිරිමියෙකු සමඟ හැසුරුණොත්, ඔවුන් පිළිකුල් දෙයක් කරනු ඇත. ඔවුන් මරණයට පත් කළ යුතු ය. ඔවුන්ගේ මරණ ගැන ඔවුන් ම වගකිව යුතු ය.</verse>
				<verse number="14">යම් මිනිසෙකු භාර්යාවක සහ ඇගේ මව ද සරණ පාවාගතහොත් එය දුෂ්ටකමකි. ඒ තිදෙන ම ගින්නෙන් පුළුස්සා මැරිය යුතු ය. මෙසේ කළොත්, ඔබ අතර මෙබඳු දුෂ්ටකම් නොපවතිනු ඇත.</verse>
				<verse number="15">යම් මිනිසෙකු සතෙකු සමඟ මෛථූනයෙහි යෙදුණොත්, ඔහු මරණයට පත් කළ යුතු ය. නුඹලා ඒ සතා ද මැරිය යුතු ය.</verse>
				<verse number="16">යම් ස්ත්‍රියක සතෙකු සමඟ මෛථූනයෙහි යෙදුණොත්, ඈ ද, ඒ සතා ද මරණයට පත් කළ යුතු ය. ඔවුන්ගේ මරණ ගැන ඔවුන් ම වගකිව යුතු ය.</verse>
				<verse number="17">“යම් මිනිසෙකු තම පියාගේ දුව හෝ තම මවගේ දුව වන තමාගේ සහෝදරිය හෝ පාවාගෙන ඇගේ නිරුවත අනාවරණය කළොත්, එය දුෂ්ටකමකි. ඔවුන් ප්‍රසිද්ධියේ නින්දාවට පත් කර තම සෙනඟ අතරෙන් නෙරපනු ලැබිය යුතු ය. ඔහු තම සොහොයුරියට නින්දා කළ බැවින්, ඒ දුෂ්ටකම ගැන වගකිව යුතු ය.</verse>
				<verse number="18">යම් මිනිසෙකු ස්ත්‍රියක සමඟ ඇගේ ඔසප් වීමේ කාලයේ දී සයනය කළොත්, ඇගේ ලේ ගැලීම දෙදෙනා ම දකින බැවින්, දෙදෙනා ම ඔවුන්ගේ සෙනඟ අතරෙන් නෙරපනු ලැබිය යුතු ය.</verse>
				<verse number="19">“යමෙකු තම මවගේ සොහොයුරියගේ හෝ තම පියාගේ සොහොයුරියගේ හෝ නිරුවත අනාවරණය නොකළ යුතු ය. මෙවැන්නක්, තම කිට්ටු නෑයන්ට කරන නින්දාවකි. ඔවුන් තමන්ගේ නපුරුකම ගැන වගකිව යුතු ය.</verse>
				<verse number="20">යම් මිනිසෙකු තම පියාගේ සහෝදරයෙකුගේ බිරිඳ සමඟ සයනය කළොත්, එවැන්නක් ඔහුගේ පියාගේ සහෝදරයාට කරන නින්දාවකි. ඔවුන් තමන්ගේ පාපය ගැන වගකිව යුතු අතර, දෙදෙනා ම දරුවන් නොලැබ මැරෙනු ඇත.</verse>
				<verse number="21">යම් මිනිසෙකු තම සහෝදරයාගේ බිරිඳ සරණ පාවාගතහොත් එය අපිරිසිදු ක්‍රියාවකි. එවැන්නක් ඔහු තම සහෝදරයාට කරන නින්දාවකි. ඔවුන් දෙදෙනා ම දරුවන් නොලැබ මැරෙනු ඇත.</verse>
				<verse number="22">“එබැවින් නුඹලා මාගේ සියලු නීති සහ සියලු විනිශ්චයයන් පිළිපදිමින් ඒවා ඉටු කළ යුතු ය. එවිට මා නුඹලා පදිංචි කරවීමට යන දේශය නුඹලා නෙරපා නොදමනු ඇත.</verse>
				<verse number="23">තවද, නුඹලා යන්නට කලින් මා පන්නාදමන විජාතීන්ගේ සිරිත් නොපිළිපැදිය යුතු ය. ඔවුන් මෙවැනි දේවල් කළ නිසා මම ඔවුන් පිළිකුල් කෙළෙමි.</verse>
				<verse number="24">තවද, කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන ඔවුන්ගේ දේශය මම නුඹලාට උරුම කොට දෙන බවටත්, එය නුඹලාට හිමි කොට දෙන බවටත් පොරොන්දු වුණෙමි. අවශේෂ ජාතීන්ගෙන් නුඹලා වෙන් කළ නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.</verse>
				<verse number="25">එබැවින් පවිත්‍ර සතුන් හා අපවිත්‍ර සතුන් ද පවිත්‍ර පක්ෂීන් හා අපවිත්‍ර පක්ෂීන් ද නුඹලා වෙන් කොට සැලකිය යුතු ය. මා අපවිත්‍ර යයි වෙන් කළ සතුන්ගේ හෝ පක්ෂීන්ගේ හෝ බඩගා යන සතුන්ගේ හෝ මාංස අනුභව කොට නුඹලා මට පිළිකුල් නොවිය යුතු ය.</verse>
				<verse number="26">නුඹලා මට ශුද්ධ ව සිටිය යුතු ය. සමිඳාණන් වහන්සේ වන මම ශුද්ධ ය. නුඹලා මට ම අයිති වනු පිණිස අවශේෂ ජාතීන්ගෙන් මම නුඹලා වෙන් කෙළෙමි.</verse>
				<verse number="27">“යම්කිසි ස්ත්‍රියක හෝ පුරුෂයෙකු හෝ ආත්ම බන්ධනකාරයන්ගේ හෝ මන්ත්‍රකාරයන්ගේ හෝ පිහිට සෙව්වොත්, ඔවුන්ට ගල් ගසා ඔවුන් මරණයට පත් කළ යුතු ය. ඔවුන්ගේ මරණ ගැන ඔවුන් ම වගකිව යුතු ය.”</verse>
			</chapter>
			<chapter number="21">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, ආරොන්ගේ පුත්‍රයන් වන පූජකවරුන්ට කතා කොට මෙසේ කියන ලෙස වදාළ සේක: “පහත දක්වන අවස්ථාවල හැර කිසි ම පූජකයෙකු තම සෙනඟගේ මළසිරුරක් සමීපයට යාමෙන්, වත්පිළිවෙත් අනුව අපවිත්‍ර නොවිය යුතු ය.</verse>
				<verse number="2">එහෙත්, ඔහුගේ නෑයන් වන තම මවගේ හා පියාගේ ද තම පුතාගේ හා දුවගේ ද තම සහෝදරයාගේ ද</verse>
				<verse number="3">අවිවාහක කන්‍යාවක වන තම සොහොයුරීගේ ද අවමංගල්‍යයන්ට ඔහුට සහභාගි විය හැක.</verse>
				<verse number="4">එහෙත්, විවාහක සොහොයුරියකගේ අවමංගල්‍යයකට සහභාගි වී ඔහු අපවිත්‍ර නොවිය යුතු ය.</verse>
				<verse number="5">“කිසි ම පූජකයෙකු තම හිස මුඩු කොට නොගත යුතු ය. තම රැවුලේ අගිස් කපා නොදැමිය යුතු ය. තමාගේ ශරීරයේ කැපීමක් කර නොගත යුතු ය.</verse>
				<verse number="6">ඔවුන් දෙවියන් වහන්සේට කැප වී සිටිය යුතු ය. ඔවුන්ගේ දෙවියන් වහන්සේගේ නාමයට අපහාස නොකළ යුතු ය. දෙවියන් වහන්සේගේ භෝජනය වන, සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පූජා ද ඔවුන් ඔප්පු කළ යුතු ය. එබැවින් ඔවුන් ශුද්ධ ව සිටිය යුතු ය.</verse>
				<verse number="7">ඔහු වෙසඟනක හෝ කන්‍යාවක නොවන ස්ත්‍රියක හෝ සැමියා විසින් දික්කසාද කරන ලද ස්ත්‍රියක හෝ සරණ පාවා නොගත යුතු ය. ඔහු තම දෙවියන් වහන්සේට කැප වූ කෙනෙකි.</verse>
				<verse number="8">පූජකවරයා දෙවියන් වහන්සේට රොටි පුදන බැවින් එවැන්නෙකු සමිඳාණන් වහන්සේට කැප කරනු ලැබිය යුතු ය. ඔහු නුඹට ශුද්ධ කෙනෙකු විය යුතු ය. මන්ද, ඔබව කැප කරන සමිඳාණන් වහන්සේ වන මා ශුද්ධ කෙනෙකු වන බැවිනි.</verse>
				<verse number="9">යම් පූජකයෙකුගේ දුවක වෙසඟනක මෙන් හැසුරුණොත්, ඈ තම පියාට නින්දා කරයි. ඈ ගින්නෙන් පුළුස්සා මැරිය යුතු ය.</verse>
				<verse number="10">“හිස මත ආලේප තෛලය වත් කරනු ලැබ, පූජක වස්ත්‍ර ලාගැනීම සඳහා පූජකවරය ලත් පූජකයන් අතර සිටින නායක පූජකයා තම හිසකෙස් අවුල් කරනොගත යුතු ය. තම වස්ත්‍ර ඉරා නොගත යුතු ය.</verse>
				<verse number="11">ඔහු කිසි මළසිරුරක් ළඟට නොයා යුතු ය. තම පියාගේ වත්, මවගේ වත් අවමංගල්‍යයට ගොස් අපවිත්‍ර නොවිය යුතු ය.</verse>
				<verse number="12">තවද, ඔහු ශුද්ධස්ථානයෙන් පිට වී යාමෙන්, දේව ශුද්ධස්ථානයට නින්දා නොකළ යුතු ය. පූජකවරයේ දී ලත් දෙවියන් වහන්සේගේ ආලේප තෛලය ඔහු මත ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.</verse>
				<verse number="13">පූජකයෙකු විවාහ විය යුතු කන්‍යාවක සමඟ ය.</verse>
				<verse number="14">ඔහු වැන්දඹුවක හෝ දික්කසාද ස්ත්‍රියක හෝ දූෂණ වූ තැනැත්තියක හෝ වෙසඟනක ව සිටි ස්ත්‍රියක හෝ සරණ පාවා නොගත යුතු ය. ඔහු තමාගේ ම ඥාතීන් අතරෙන් කන්‍යාවක සරණ පාවාගත යුතු ය.</verse>
				<verse number="15">මෙලෙස තම සෙනඟ අතර ඔහුගේ දරු පරපුර අපවිත්‍ර නොවනු ඇත. මම ඔහු විශුද්ධ කරන සමිඳාණන් වහන්සේ වෙමි.”</verse>
				<verse number="16">සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා,</verse>
				<verse number="17">ආරොන්ට මෙසේ කියන ලෙස වදාළ සේක: “පූජක පරපුරෙන් පැවතෙන කිසිවෙකුට ශාරීරික කැළලක් තිබේ නම්, එවැන්නෙකු දෙවියන් වහන්සේට රොටි පූජා කිරීමට ළඟා නොවිය යුතු ය.</verse>
				<verse number="18">කැළලක් තිබෙන කෙනෙකු හෝ අන්ධයෙකු හෝ කොරෙකු හෝ මුක්කමෙකු හෝ අංග විකලයෙකු හෝ</verse>
				<verse number="19">අත පය කැඩුණු කෙනෙකු හෝ</verse>
				<verse number="20">කුදෙකු හෝ කුරු අයෙකු හෝ ඇස් රෝගයක් ඇති අයෙකු හෝ චර්ම රෝග ඇති අයෙකු හෝ දද ඇති අයෙකු හෝ තැළුණු අණ්ඩ ඇති අයෙකු හෝ පූජා කිරීමට ළං නොවිය යුතු ය.</verse>
				<verse number="21">පූජක ආරොන්ගේ පෙළපතින් පැවතෙන, කැළලක් ඇති කිසිවෙකු සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පඬුරු ඔප්පු කිරීමට ළඟා නොවිය යුතු ය. ඔහු තමාගේ දෙවියන් වහන්සේට භෝජනය ඔප්පු කිරීමට ළඟා නොවිය යුතු ය. මන්ද, එවැන්නෙකුට කැළලක් ඇති බැවිනි.</verse>
				<verse number="22">එහෙත්, එවැන්නෙකුට අතිශුද්ධ ද ශුද්ධ ද වන දේවලින් තම දෙවියන් වහන්සේට පුදන රොටි වැළඳිය හැක.</verse>
				<verse number="23">ඔහුට කැළලක් ඇති බැවින් ඔහු නොකළ යුත්තේ, තිරය කිට්ටුවට යෑම හෝ පූජාසනයකට ළඟා වීම හෝ පමණකි. ඔහු මාගේ ශුද්ධස්ථානය අපවිත්‍ර නොකළ යුතු ය. මන්ද, මම ඒවා විශුද්ධ කරන සමිඳාණන් වහන්සේ වෙමි.”</verse>
				<verse number="24">මෝසෙස් ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට ද මුළු ඉශ්රායෙල් ජනයාට ද එපවත් කී ය.</verse>
			</chapter>
			<chapter number="22">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා,</verse>
				<verse number="2">ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට මෙසේ කියන ලෙස වදාළ සේක: “ඉශ්රායෙල් ජනයා මට පුදන පූජාවලින් මාගේ ශුද්ධ නාමයට නින්දා නොවන ලෙස ඔවුන්ගේ ඒ ශුද්ධ පූජා ගෞරවයෙන් සැලකිය යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි. ඔවුන්ට මෙසේ කියන්න:</verse>
				<verse number="3">නුඹේ පරපුරෙන් පැවතෙන කිසිවෙකු, තමා අපවිත්‍ර යයි සැලකෙන විට ඉශ්රායෙල් ජනයා මට පුදන ශුද්ධ පූජා සමීපයට ගියොත් ඔහු මා ඉදිරියෙන් නෙරපාදැමිය යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.</verse>
				<verse number="4">“ආරොන්ගේ පෙළපතින් පැවතෙන යමෙකුට බෝවෙන චර්ම රෝගය හෝ ධාතු මෝචනය හෝ තිබේ නම්, ඔහු පවිත්‍ර වන තෙක් ශුද්ධ පූජාවලින් නොවැළඳිය යුතු ය.</verse>
				<verse number="5">මළසිරුරක් නිසා අපවිත්‍ර වූ යමක් ස්පර්ශ කරන කෙනෙක් හෝ ධාතු මෝචනය ඇති කෙනෙක් හෝ අපවිත්‍ර බඩගා යන සතෙකු වත්, යම් කිසි අපවිත්‍රකමක් ඇති මිනිසෙකු වත් ස්පර්ශ කරන කෙනෙක් හෝ අපවිත්‍ර වන්නේ ය.</verse>
				<verse number="6">මෙසේ ස්පර්ශ කිරීමෙන් අපවිත්‍ර වූ පූජකයෙකු සවස දක්වා අපවිත්‍ර යයි සැලකේ. ඔහු ජලස්නානය කරන්නට පෙර ශුද්ධ පූජාවලින් කිසිවක් නොවැළඳිය යුතු ය.</verse>
				<verse number="7">ඉර බැස ගිය පසු ඔහු පවිත්‍ර වනු ඇත. ඉන්පසු ඔහුගේ ආහාර වන පූජා ඔහුට වැළඳිය හැක.</verse>
				<verse number="8">ඉබේ ම මැරුණු හෝ වන මෘගයෙකු විසින් මරන ලද හෝ සතෙකුගේ මස් ඔහු නොවැළඳිය යුතු ය. එවැන්නකින් ඔහු අපවිත්‍ර වනු ඇත. මම සමිඳාණන් වහන්සේ වෙමි.</verse>
				<verse number="9">“එබැවින් පූජකවරුන් සියලු දෙන මාගේ නියෝග පිළිපැදිය යුතු ය. ඔවුන් ඒවා කඩ කළොත්, ඒවා ගැන වරදකරුවන් වන බැවින් ඔවුන් මරණයට පත් කළ යුතු ය. ඔවුන් කැප කරන සමිඳාණන් වහන්සේ මම වෙමි.</verse>
				<verse number="10">“පූජකයෙකු නොවන්නෙකු ශුද්ධ පඬුරු අනුභව නොකළ යුතු ය. ඒ තැනැත්තා පූජකවරයා සමඟ වසන ආගන්තුකයෙක් වේවා, කුලියට ගත් දාසයෙක් වේවා, මෙවැන්නෙකු එවැනි ශුද්ධ පඬුරු අනුභව නොකළ යුතු ය.</verse>
				<verse number="11">එහෙත්, පූජකවරයා මිල දී ගත් වහල් අයට හෝ ඔහුගේ ගෘහයේ උපන් අයට හෝ ඔහුගේ ආහාර අනුභව කළ හැක.</verse>
				<verse number="12">පූජකවරයාගේ දුවක් පූජකයෙකු නොවන කෙනෙකුට විවාහ වී සිටී නම්, ඈ ද පුදන ශුද්ධ පඬුරු අනුභව නොකළ යුතු ය.</verse>
				<verse number="13">එහෙත්, ඔහුගේ දුව වැන්දඹුවක් නම්, දික්කසාද වී දරුවෙකු ද නොලබා, පියාගෙන් නඩත්තු වීමට ඔහුගේ ගෘහයට ආපසු ගියා නම්, ඈට ද පියාගේ ආහාර අනුභව කළ හැක. එහෙත්, පූජක පවුලට අයිති නොවන කෙනෙක් නම් එවැනි ආහාර අනුභව නොකළ යුතු ය.</verse>
				<verse number="14">“පූජක පවුලට අයිති නොවන යමෙකු නොදැනුවත් ව ශුද්ධ දෙයින් අනුභව කළහොත්, ඊට අමතර ව තව පහෙන් කොටසක් එකතු කොට එය පූජකවරයාට දිය යුතු ය.</verse>
				<verse number="15">මෙලෙස ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට පුදන ශුද්ධ පඬුරු අපවිත්‍ර නොකළ යුතු ය.</verse>
				<verse number="16">අවසර නොලත් අයට ඒ ශුද්ධ පඬුරු අනුභව කිරීමට ඉඩ දීමෙන්, ඒ අය දඬුවම් ලැබීමට සුදුසු වරදකරුවන් වනු ඇත. ඒවා කැප කරන සමිඳාණන් වහන්සේ මම වෙමි.”</verse>
				<verse number="17">සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා</verse>
				<verse number="18">ආරොන්ටත්, ඔහුගේ පුතුන්ටත්, මුළු ඉශ්රායෙල් ජනයාටත් කියන ලෙස මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් ජනයා අතර යමෙක් වේවා, ඔවුන් අතර වසන විදේශිකයෙක් වේවා, තමන්ගේ බාර හාර ඉටු කරන පිණිස ද ස්වේච්ඡා පූජාවක් සඳහා ද දවන යාග පූජාවක් සමිඳාණන් වහන්සේට ඔප්පු කරන්නේ නම්,</verse>
				<verse number="19">ඒ සතා ගවයන්ගෙන් හෝ බැටළුවන්ගෙන් හෝ එළුවන්ගෙන් හෝ තෝරාගන්නා ලද කැළලක් නැති පිරිමි සතෙකු විය යුතු ය.</verse>
				<verse number="20">යම් කිසි කැළලක් ඇති සතෙකු ඔප්පු නොකළ යුතු ය. එසේ කළොත්, එය බාරගනු නොලැබේ.</verse>
				<verse number="21">යමෙකු බාරයක් ඉටු කිරීමට හෝ ස්වේච්ඡා පූජාවක් සඳහා හෝ ගවයන්ගෙන් හෝ බැටළුවන්ගෙන් හෝ සතෙකු සහභාගිකමේ පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේට ඔප්පු කරන විට, එය පිළිගනු ලබන්නේ ඒ සතා කැළැල් රහිත අංග සම්පූර්ණ එකෙක් වේ නම් පමණ ය.</verse>
				<verse number="22">ඇස් නොපෙනෙන හෝ අවයව කැඩුණු හෝ අබ්බාගාත වූ හෝ වණ පිළිකා හා දද ඇති හෝ සතෙකු පූජාසනය මත ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන පූජාවක් කොට ඔප්පු නොකළ යුතු ය.</verse>
				<verse number="23">එහෙත්, ස්වේච්ඡා පූජාවක් ලෙස අසාමාන්‍ය අවයවයක් ඇති ගොනෙකු හෝ බැටළුවෙකු පුද කළ හැකි ය. බාරයක් ඉටු කිරීම සඳහා නම් එවැන්නක් පිළිගනු නොලැබේ.</verse>
				<verse number="24">තුවාළ වුණු හෝ තැළුණු හෝ කැඩුණු හෝ කැපූ හෝ අණ්ඩ ඇති සතෙකු සමිඳාණන් වහන්සේට ඔප්පු නොකළ යුතු ය. මෙවැන්නක් කිරීමට නුඹේ රටේ අවසර නොදෙනු ඇත.</verse>
				<verse number="25">“මෙවැනි සතෙකු නුඹ විදේශිකයෙකුගේ අතින් වත් ගෙන, ආහාර පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේට ඔප්පු නොකළ යුතු ය. එවැනි ශාරීරික දෝෂ, කැළැල් වන බැවින් නුඹ උදෙසා උන් නොපිළිගනු ලැබේ.”</verse>
				<verse number="26">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="27">“වහු පැටියෙකු හෝ බැටළු පැටියෙකු හෝ එළු පැටියෙකු හෝ උපන් විට, දවස් හතක් යන තෙක් ඌ උගේ මවගෙන් ඉවතට නොගත යුතු ය. අට වන දින පටන් සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පූජාවක් ලෙස ඌ පිළිගනු ඇත.</verse>
				<verse number="28">එළදෙනක සමඟ උගේ වස්සා ද බැටළු දෙනක සමඟ උගේ පැටියා ද එක දින ම නොමැරිය යුතු ය.</verse>
				<verse number="29">නුඹ සමිඳාණන් වහන්සේට ස්තුති දීමේ පූජාවක් පුද කරන කල එය පිළිගත හැකි වන පරිදි ඉටු කළ යුතු ය.</verse>
				<verse number="30">එය පුද කරන දවසේ ම එය අනුභව කළ යුතු ය. පසු දින වන තෙක් ඉන් කිසිවක් ඉතිරි නොකළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.</verse>
				<verse number="31">“නුඹලා මාගේ ආඥා රකිමින් ඒවා පිළිපැදිය යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.</verse>
				<verse number="32">නුඹලා මාගේ ශුද්ධ නාමයට අපහාස නොකළ යුතු ය. මුළු ඉශ්රායෙල් ජනයා මා විශුද්ධ ලෙස සැලකිය යුතු ය. නුඹලා විශුද්ධ කරන සමිඳාණන් වහන්සේ මම වෙමි.</verse>
				<verse number="33">නුඹලාගේ දෙවියන් වහන්සේ වන පිණිස මම මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනාවෙමි. මම සමිඳාණන් වහන්සේ ය.”</verse>
			</chapter>
			<chapter number="23">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා,</verse>
				<verse number="2">“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු සමිඳාණන් වහන්සේගේ මංගල්‍ය පහත සඳහන් ඒවා ය කියා ප්‍රකාශ කළ යුතු ය.”</verse>
				<verse number="3">“දවස් හයක් වැඩ කළ යුතු ය. හත් වන දින වන්දනාමාන පිණිස රැස්වීම් පවත්වන නිවාඩුවේ සබත් දිනය ය. එදින කිසි ම වැඩක් නොකළ යුතු ය. නුඹලා සියලු දෙන කොතැනක වාසය කළත්, එදින සමිඳාණන් වහන්සේට අයිති සබත් දින වේ.</verse>
				<verse number="4">තවද, ශුද්ධ නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු, පහත දක්වන සමිඳාණන් වහන්සේගේ මංගල්‍ය, නියමිත කාලවල දී නුඹ ප්‍රකාශ කළ යුතු ය.”</verse>
				<verse number="5">“සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පවත්වන පාස්කුව අරඹනුයේ පළමු වන මාසයේ දහහතර වන දින සවස ය.</verse>
				<verse number="6">එම මාසයේ ම පසළොස් වන දින සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පවත්වන නුමුහුන් රොටි මංගල්‍යයයි. දවස් හතක් නුඹලා නුමුහුන් රොටි අනුභව කළ යුතු ය.</verse>
				<verse number="7">පළමු වන දින නුඹලා ශුද්ධ නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි බර වැඩක් නොකළ යුතු ය.</verse>
				<verse number="8">දින හතක් තුළ නුඹලා සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන ආහාර පූජා ඔප්පු කළ යුතු ය. හත් වන දින ශුද්ධ නමස්කාරය සඳහා පවත්වන රැස්වීමකි. එදින කිසි බර වැඩක් නොකළ යුතු ය.”</verse>
				<verse number="9">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="10">“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්න: ‘මා නුඹලාට දෙන්නට යන දේශයට නුඹලා පැමිණ, එහි අස්වැන්න නෙළාගත් විට, අස්වැන්නෙන් පළමුවෙන් ම කපාගත් ගොයම් මිටිය නුඹලා පූජකවරයා වෙත ගෙනා යුතු ය.</verse>
				<verse number="11">නුඹලා උදෙසා එය පිළිගනු ලබන ලෙස ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි එය පිදිය යුතු ය. ඔහු එය පිදිය යුත්තේ සබත් දවසට පසු දවසේ ය.</verse>
				<verse number="12">ධාන්‍ය පූජාව ඔප්පු කරන දින ම අවුරුද්දක් වයසැති කැළැල් රහිත බැටළු පැටියෙකු දවන යාග පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය.</verse>
				<verse number="13">ඒ සමඟ ම තෙලින් මිශ්‍ර සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකක් ධාන්‍ය පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වන ලෙස ගින්නෙන් දවා උන් වහන්සේට පූජා කළ යුතු ය. තවද, මුද්‍රික පානය ලීටර එකක් ගෙන එය ද පානීය පූජාවක් ලෙස ඔප්පු කළ යුතු ය.</verse>
				<verse number="14">නුඹලාගේ නාඹුල් පල පඬුර දෙවියන් වහන්සේ වෙත ගෙනෙන දින වන තෙක් නුඹලා අලුත් ධාන්‍ය රොටි මෙන් සාදා හෝ අමුවෙන් හෝ විළඳ ලෙස හෝ අනුභව නොකළ යුතු ය. නුඹලා කොතැනක වාසය කළත්, නුඹලාගේ පෙළපත් තුළ මෙය සදහට ම වලංගු නියෝගයකි.”</verse>
				<verse number="15">“නුඹලා පිළිගැන්වීමේ පිළිවෙතින් පළමුවෙන් කපාගත් ගොයම් මිටිය පඬුරු ලෙස පුද කළ සබත් දිනට පසු දින පටන් සම්පූර්ණ සබත් දින හතක් ගණන් කළ යුතු ය.</verse>
				<verse number="16">හත් වන සබත් දිනට පසු පැමිණෙන පණස් වන දිනේ දී නුඹලා නව ධාන්‍ය පූජාවක් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය.</verse>
				<verse number="17">එක් එක් පවුල, සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකක් ගෙන මුහුන් මිශ්‍ර කොට පුළුස්සන ලද රොටි දෙක බැගින් පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කරනු පිණිස ගෙනා යුතු ය. ඒවා සමිඳාණන් වහන්සේට පුදන නාඹුල් පල වනු ඇත.</verse>
				<verse number="18">තවද, නුඹලා රොටි සමඟ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් හත් දෙනෙකු ද එක ගොන් වස්සෙකු ද එළුවන් දෙදෙනකු ද ඔප්පු කළ යුතු ය. ඒවා දවන යාග පූජාවක් ලෙස ධාන්‍ය පූජාව සහ පානීය පූජාව සමඟ සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය. මෙලෙස ගින්නෙන් දවා පුදන පූජාව උන් වහන්සේට සුමිහිරි සුවඳක් වනු ඇත.</verse>
				<verse number="19">ඉන්පසු පාප පූජාවක් සඳහා එක එළු පැටියෙකු ද සහභාගිකමේ පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දෙදෙනෙකු ද පුද කළ යුතු ය.</verse>
				<verse number="20">පූජකවරයා නාඹුල් පල වශයෙන් ගත් රොටි සමඟ බැටළු පැටියන් දෙදෙනෙකු පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කරමින් පුද කළ යුතු ය. උන් වහන්සේට ශුද්ධ පඬුරු වන ඒවා පූජකවරයාට හිමි වනු ඇත.</verse>
				<verse number="21">එදින නුඹලා ශුද්ධ නමස්කාරය පිණිස රැස්වන ලෙස ද බර වැඩ නොකරන ලෙස ද ප්‍රකාශ කළ යුතු ය. මෙය නුඹලාගේ පෙළපත් තුළ නුඹලා කොතැනක විසුවත්, සදහට ම වලංගු නියෝගයකි.</verse>
				<verse number="22">“නුඹලාගේ කෙත්වල අස්වැන්න නෙළන විට, කෙතේ මායිම්වල තිබෙන ගොයම් සියල්ල ම නොකැපිය යුතු ය. ඉතිරි වූ කරල් ඇහිලීමට කෙතට ආපසු නොයා යුතු ය. ඒවා දුප්පතුන් හා විදේශිකයන් සඳහා නුඹලා ඉතිරි කළ යුතු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.”</verse>
				<verse number="23">සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="24">“හත් වන මාසයේ පළමු වන දින දී නුඹලා විශේෂ සබත් දවසක් පැවැත්විය යුතු ය. හොරණෑ නද දෙන විට ශුද්ධ නමස්කාරය සඳහා රැස්විය යුතු ය.</verse>
				<verse number="25">එදින නුඹලා බර වැඩ නොකළ යුතු ය. එහෙත්, ආහාර පූජාවක් ගින්නෙන් දවා ඔප්පු කළ යුතු ය.”</verse>
				<verse number="26">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="27">“හත් වන මාසයේ දස වන දින පව් කමාව ලැබීමේ පිළිවෙත ඉටු කරන දිනයකි. එදින නුඹලා ශුද්ධ නමස්කාරය සඳහා රැස්විය යුතු ය. එදින උපවාස කර, ගින්නෙන් දවා ආහාර පූජාවක් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය.</verse>
				<verse number="28">එදින කිසි ම වැඩක් නොකළ යුතු ය. එදින නුඹලා දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නුඹලා උදෙසා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කරන දිනයකි.</verse>
				<verse number="29">එදින යමෙක් උපවාස නොකරන්නේ ද ඔහු තම සෙනඟ අතරෙන් නෙරපාදමනු ලැබේ.</verse>
				<verse number="30">එදින යමෙක් වැඩ කරන්නේ ද, ඔහු ද තම සෙනඟ අතරෙන් මරණයට පත් කරනු ලබනු ඇත.</verse>
				<verse number="31">එදින කිසි වැඩක් නොකළ යුතු ය. නුඹලා කොතැනක විසුවත් මෙය නුඹලාගේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි.</verse>
				<verse number="32">එදින නුඹලා උපවාසය රකින මහා සබත් දවසක් විය යුතු ය. නව වන දින සවස සිට පසු දින සවස දක්වා මේ සබත් දිනය නුඹලා පැවැත්විය යුතු ය.”</verse>
				<verse number="33">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,</verse>
				<verse number="34">“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “සත් වන මාසයේ පසළොස් වන දින කූඩාරම් මංගල්‍යය අරඹනු ලැබේ. එය හත් දිනක් පැවැත්විය යුතු ය.</verse>
				<verse number="35">පළමු වන දින ශුද්ධ වන්දනාමාන පිණිස රැස්වීම පැවැත්විය යුතු ය. එදින නුඹලා බර වැඩ නොකළ යුතු ය.</verse>
				<verse number="36">හත් දිනක් ම සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා ආහාර පූජාවක් ඔප්පු කළ යුතු ය. අට වන දින ශුද්ධ නමස්කාරය සඳහා රැස්වීමක් පවත්වා ගින්නෙහි දවා ආහාර පූජාවක් සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය. එදින ශුද්ධ නමස්කාරය සඳහා ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වන බැවින් කිසි බර වැඩක් නොකළ යුතු ය.</verse>
				<verse number="37">“ඒ ඒ දවසට නියමිත ලෙස කළ යුතු වූ, සමිඳාණන් වහන්සේට ගින්නෙන් කරන පූජාවන් නම්, දවන යාග පූජා, ධාන්‍ය පූජා, යාග පඬුරු සහ පානීය පූජාවන් ය. මෙම පූජා ඔප්පු කිරීම පිණිස ශුද්ධ සභා රැස්වීම කැඳවා ප්‍රකාශ කළ යුතු ය.</verse>
				<verse number="38">මෙකී මංගල්‍ය, සමිඳාණන් වහන්සේගේ සබත් දින, උන් වහන්සේට දෙන නුඹලාගේ පඬුරුවලට, බාරවලට හා ස්වේච්ඡා පූජාවලට අමතර ව වේ.”</verse>
				<verse number="39">“හත් වන මාසයේ පසළොස් වන දින නුඹලා දේශයේ පලදාව රැස්කරගත් පසු, හත් දිනක් ම සමිඳාණන් වහන්සේට මංගල්‍ය පැවැත්විය යුතු ය. පළමු වන දවස හා අට වන දවස විවේක ගත යුතු දින විය.</verse>
				<verse number="40">පළමු වන දවසේ දී නුඹලා ඉස්තරම් පලතුරු ද තල් අතු ද කොළ පිරුණු අතු ද ගං තෙරින් ගත් විලෝ ද ගෙන, නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ප්‍රීති ප්‍රමෝද වෙමින් හත් දිනක් මංගල්‍ය පැවැත්විය යුතු ය.</verse>
				<verse number="41">මෙලෙස අවුරුද්දට හත් දිනක් තුළ සමිඳාණන් වහන්සේට මංගල්‍ය පැවැත්විය යුතු ය. මෙය නුඹලාගේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි. නුඹලා මේ මංගල්‍ය පැවැත්විය යුත්තේ හත් වන මාසයේ දී ය.</verse>
				<verse number="42">හත් දිනක් ම නුඹලා පැල්පත්වල වාසය කළ යුතු ය. ඉශ්රායෙල් ජාතිකයන් සියලු දෙන මෙසේ විසිය යුතු ය.</verse>
				<verse number="43">මෙලෙස මා ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පිටතට ගෙනෙන විට මා ඔවුන්ට පැල්පත්වල වාසය කිරීමට සැලැසූ බව නුඹලාගේ අනාගත පරම්පරා දැනගන්නෝ ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම ය.”</verse>
				<verse number="44">මෝසෙස් සමිඳාණන් වහන්සේගේ මංගල්‍ය ඉශ්රායෙල් ජනයාට ප්‍රකාශ කෙළේ ය.</verse>
			</chapter>
			<chapter number="24">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“පහන් නිතර ම දැල්වෙමින් පවතින පිණිස ඒවා සඳහා ඉස්තරම්, පිරිසිදු ඔලීව තෙල් ගෙනෙන්න ඉශ්රායෙල් ජනයාට අණ කරන්න.</verse>
				<verse number="3">සම්මුඛ මණ්ඩපයේ ගිවිසුම් කරඬුව ඉදිරිපිට ඇති තිරයට පිටතින් ඒවා සවස සිට උදය දක්වා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නිතර ම දැල්වෙමින් තැබීමට ආරොන් වග බලාගත යුතු ය. මෙය නුඹලාගේ පෙළපත තුළ සදහට ම වලංගු නියෝගයකි.</verse>
				<verse number="4">තවද, ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නිතර ම තනි රන් පහන් රුක මත ඒවා තැබීමට අණ කළ යුතු ය.”</verse>
				<verse number="5">“නුඹ සිහින් පිටි රැගෙන රොටි දොළොසක් සාදන්න. එක රොටියක පිටි කිලෝග්‍රෑම් එකක් විය යුතු ය.</verse>
				<verse number="6">පසුව සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තනි රන් ගාන ලද මේසය උඩ, එක පේළියකට හය බැගින් පේළි දෙකකට රොටි තැබිය යුතු ය.</verse>
				<verse number="7">ඉන්පසු පේළි දෙකේ ම පිරිසිදු තුවරලා දැමිය යුතු ය. මෙලෙස රොටි මත වැටෙන තුවරලා සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුද කරන ආහාර පූජාවක් සිහිවීමේ ලකුණක් වනු ඇත.</verse>
				<verse number="8">සෑම සබත් දවසක ම මින් ඉදිරියට ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මේවා පිළිවෙළට තැබිය යුතු ය. මෙලෙස ඉශ්රායෙල් ජනයා උදෙසා ඒවා සදාතන ගිවිසුමක් වනු ඇත.</verse>
				<verse number="9">මේ රොටි ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන් හට අයිති වනු ඇත. ඔවුන් ඒවා ශුද්ධස්ථානයක වැළඳිය යුතු ය. මේවා පූජකවරුන් සඳහා සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන ආහාර පූජාවේ අතිශුද්ධ කොටස් වේ. මෙසේ කිරීම සදහට ම වලංගු නියෝගයකි.”</verse>
				<verse number="10">තවද, මිසර වැසියෙකුට දාව ඉශ්රායෙල් ජාතික ස්ත්‍රියකගෙන් උපන් එක්තරා මිනිසෙක්, ඉශ්රායෙල් ජනයා අතර විය. මොහු කඳවුර තුළ දී ඉශ්රායෙල් වැසියෙකු සමඟ දබර කෙළේ ය.</verse>
				<verse number="11">ඒ තැනැත්තාගේ මවගේ නම ෂෙලොමිත් ය. ඈ දාන්ගේ ගෝත්‍රයේ දිබ්රීගේ දුව වූවා ය. ඒ තැනැත්තා ද දබර කරන විට දෙවියන් වහන්සේගේ නාමයට අපහාස කොට සාප කෙළෙන්, සෙනඟ මෝසෙස් වෙත ඔහු ගෙනාවෝ ය.</verse>
				<verse number="12">මෙසේ ගෙනවුත්, සමිඳාණන් වහන්සේගේ තීරණය දැනගන්න තෙක් ඔව්හු ඔහු හිර අඩස්සි කළහ.</verse>
				<verse number="13">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="14">“සාප කළ තැනැත්තා කඳවුරෙන් පිටතට ගෙනෙන්න. ඔහු කී දේට කන් දුන් සියල්ලන් ඔහුගේ හිස මත අත් තබා, මුළු ජනතාව ම ඔහුට ගල් ගැසිය යුතු ය.</verse>
				<verse number="15">නුඹ ද ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්න: යමෙකු දෙවියන් වහන්සේට සාප කළොත්, ඔහු ඒ පාපයේ දුර්විපාකය දැරිය යුතු ය.</verse>
				<verse number="16">ඔහු උන් වහන්සේගේ නාමයට අපහාස කළ බැවින් මරණයට පත් කළ යුතු ය. විදේශිකයෙක් වේවා, දේශයේ උපන් තැනැත්තෙක් වේවා, ඔහු දෙවියන් වහන්සේගේ නාමයට අපහාස කළොත්, මුළු ජනතාව එවැන්නෙකුට ගල් ගසා ඔහු මරණයට පත් කළ යුතු ය.</verse>
				<verse number="17">“යමෙකු මිනිසෙකු මැරුවොත්, ඔහු ද මැරිය යුතු ය.</verse>
				<verse number="18">යමෙකු මෘගයෙකු මැරුවොත්, මෘගයා වෙනුවට, වන්දි වශයෙන් මෘගයෙකු ගෙවිය යුතු ය.</verse>
				<verse number="19">“යමෙකු මිනිසෙකුට තුවාළයක් කළොත්, ඔහුටත් එලෙස ම කරනු ලැබේ.‍</verse>
				<verse number="20">ඇටකටුවට ඇටකටුව ය, ඇසට ඇස ය, දතට දත ය. යමෙකු යමෙකුට තුවාළ කළොත්, ඔහුටත් එලෙස ම කරනු ලැබේ.</verse>
				<verse number="21">“යමෙකු මෘගයෙකු මැරුවොත්, ඔහු ඒ වෙනුවට මෘගයෙකු දිය යුතු ය. යමෙකු මිනිසෙකු මැරුවොත්, ඔහු ද මරනු ලැබේ.</verse>
				<verse number="22">“ඉශ්රායෙල් ජනයා කෙරෙහි මෙන් ම ඔවුන් අතර වසන විදේශිකයන් කෙරෙහි ද එක ම නීතියක් බල පාන්නේ ය. මන්ද මම වනාහි නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.”</verse>
				<verse number="23">මෙසේ මෝසෙස් ඉශ්රයෙල් ජනයාට කතා කෙළේ ය. ඔහු කී ලෙස ඔව්හු සාප කළ තැනැත්තා කඳවුරෙන් පිටතට ගෙනවුත් ඔහුට ගල් ගසා මැරුවෝ ය. ඉශ්රායෙල් ජනයා ද සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඉටු කළහ.</verse>
			</chapter>
			<chapter number="25">
				<verse number="1">සමිඳාණන් වහන්සේ සීනයි කන්දේ දී මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙය කියන්න: මා නුඹලාට දෙන්නට යන දේශයට පැමිණි කල, සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස එම දේශයට සබත් විවේකයක් දිය යුතු ය.</verse>
				<verse number="3">අවුරුදු හයක් තුළ නුඹලාට කෙත් වැපිරිය හැකි ය; මිදි වතුවල අතු පෑහිය හැකි ය; ඒවා කප්පාදු කොට පල නෙළාගත හැකි ය.</verse>
				<verse number="4">එහෙත්, හත් වන අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේ උදෙසා දේශයට ශුද්ධ සබත් විවේකයක් දිය යුතු ය. ඒ අවුරුද්දේ නුඹලා නොවපුළ යුතු ය. මිදි වතුවල අතු නොපෑහිය යුතු ය.</verse>
				<verse number="5">ඉබේ ම වැඩෙන අස්වැන්න ද නෙළා නොගත යුතු ය. අතු නොපාහින ලද මිදි වැල්වල පල රැස් නොකළ යුතු ය. එය දේශයට ද දෙන අවුරුද්දක නිවාඩුවකි.</verse>
				<verse number="6">වගා නොකළ කෙත් වතුවලින් නුඹලාට ද නුඹලාගේ දැසිදසුන්ට ද කුලීකරුවාට ද නුඹලා සමඟ සිටින විදේශිකයාට ද</verse>
				<verse number="7">නුඹේ ගවයන්ට ද ඉඩම්වල සිටින මෘගයන්ට ද ආහාර ලැබෙනු ඇත. වගා නොකළ කෙත් වතුවලින් ඇති වන සියල්ල නුඹලාට කෑ හැකි ය.”</verse>
				<verse number="8">“අවුරුදු හතෙන් හතට පැමිණෙන සබත් වර්ෂ හතක් හතෙන් වැඩි කළ විට අවුරුදු හතළිස් නවයක් ලැබෙනු ඇත.</verse>
				<verse number="9">එවිට හත් වන මාසයේ දහ වන දින, එනම්, පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කරන දින, මුළු රට පුරා හොරණෑව රැව් පිළිරැව් දීමට සැලැස්විය යුතු ය.</verse>
				<verse number="10">මෙලෙස නුඹලා පණස් වන අවුරුද්ද වෙන් කොට මුළු දේශය පුරා එහි සිටින සියල්ලන්ට නිදහස දීම ගැන ප්‍රකාශයක් කළ යුතු ය. එම අවුරුද්ද ජුබිලියක් නිසා එකිනෙකා තම තමාගේ උරුමයටත් තම තමාගේ පෙළපතටත් නැවත පැමිණිය යුතු ය.</verse>
				<verse number="11">පණස් වන අවුරුද්ද ජුබිලියක් බැවින් නුඹලා නොවැපිරිය යුතු ය. ඉබේ ම වැවෙන දේවලින් අස්වැන්න නෙළා නොගත යුතු ය. අතු නොපාහින ලද මිදි වතුවලින් පලදාව රැස් කොට නොගත යුතු ය.</verse>
				<verse number="12">එය ජුබිලියක් බැවින්, එය නුඹලාට ශුද්ධ වර්ෂයක් විය යුතු ය. නුඹලා වගා නොකළ කෙත්වලින් ලැබෙන අස්වැන්න නුඹලාට කන්නට පුළුවන.</verse>
				<verse number="13">“මිල දී ගත් බඩු මේ අවුරුද්දේ දී හිමිකරුට ආපසු දිය යුතු ය.</verse>
				<verse number="14">එබැවින් නුඹලා තවත් ඉශ්රායෙල් ජාතිකයෙකුට යමක් විකුණන විට හෝ ඔහුගෙන් යමක් මිලට ගන්න විට හෝ ඔහු සමඟ අසාධාරණ ලෙස ක්‍රියා නොකළ යුතු ය.</verse>
				<verse number="15">ජුබිලියෙන් පසු යමක් කෙනෙකුගෙන් මිල දී ගන්න විට, එහි වටිනාකම තක්සේරු කළ යුත්තේ ඊළඟ ජුබිලිය දක්වා පලදාව ලබාගන්නට පුළුවන් අවුරුදු ගණන අනුව ය.</verse>
				<verse number="16">අවුරුදු ගණන වැඩි නම්, මිල වැඩි විය යුතු ය. අවුරුදු ගණන අඩු නම්, මිල අඩු විය යුතු ය. මන්ද, විකුණනු ලබන්නේ අස්වනු ගණන බැවිනි.</verse>
				<verse number="17">එබැවින් නුඹලා එකිනෙකාට වංචා නොකළ යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට ගරුබිය පාන්න. මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.”</verse>
				<verse number="18">“නුඹලා මාගේ නීති සහ විනිශ්චයයන් පිළිපදිමින් ඒවා ඉටු කරන්න. එවිට නුඹලා දේශයේ සුරැකි ව වසනු ඇත.</verse>
				<verse number="19">දේශය ද පලදාව උපදවන විට නුඹලාට කන්නට උවමනා සෑම දේ දෙන්නේ ය. නුඹලා එහි සුරැකි ව වසන්නහු ය.</verse>
				<verse number="20">හත් වන අවුරුද්දේ දී වපුරන්නේ වත්, පලදාව එකතු කරන්නේ වත් නැති බැවින් එම අවුරුද්දේ දී අපි කුමක් කන්නෙමු ද කියා කෙනෙකුට ඇසිය හැකි ය.</verse>
				<verse number="21">හය වන අවුරුද්දේ දී තුන් අවුරුද්දක ආශීර්වාදය ලැබෙන හැටියට මාගේ ආශීර්වාදය නුඹලා වෙත පැමිණීමට මම අණ කරමි.</verse>
				<verse number="22">අට වන අවුරුද්දේ නුඹලා වපුරන විට නව වන අවුරුද්ද දක්වා කලින් ලැබූ පලදාව නුඹලාට අනුභව කළ හැකි ය. මෙසේ ඒ අවුරුද්දේ අස්වැන්න නෙළන තෙක් නුඹලාට කෑමට කලින් ලැබුණු පලදාව ප්‍රමාණවත් වේ.”</verse>
				<verse number="23">“දේශය අයිති මට බැවින් එය නිත්‍ය අයිතියක් වන ලෙස නොවිකිණිය යුතු ය. මාගේ ආගන්තුකයන් වන නුඹලා මා සමඟ කලක් නේවාසික ව සිටින්නහු ය.</verse>
				<verse number="24">“ඉඩකඩම් විකුණන විට ඒවා ආපසු මිල දී ගැනීමට මුල් හිමිකරුගේ අයිතිය පිළිගත යුතු ය.</verse>
				<verse number="25">යමෙකු දිළිඳු තත්ත්වයට පත් ව, ඔහුගේ ඉඩකඩම් විකුණන්නට ඔහුට සිදු වී නම්, ඔහුගේ කිට්ටු ම නෑයෙකු ඉදිරියට අවුත්, ඒ තැනැත්තා විකුණූ ඉඩකඩම් ඔහුට මිල දී ආපසු ගත හැකි ය.</verse>
				<verse number="26">එහෙත්, යමෙකුට ඒවා මිල දී ගැනීමට කිට්ටු නෑයෙකු නැති වුවත්, ඒ තැනැත්තා පසුව ධනවත් ව මිල දී ගැනීමට සෑහෙන වත්කමක් ලබන්නට පුළුවන.</verse>
				<verse number="27">එවැනි අවස්ථාවක දී ඔහු විකුණූ දා සිට අවුරුදු ගණන ගණන් කොට, ඊළඟ ජුබිලිය දක්වා තිබෙන අවුරුදු ගණන අනුව, ඒවා මිල දී ගත් තැනැත්තාට ආපසු ගෙවා තම ඉඩකඩම් ආපසු ලබා ගන්නේ ය.</verse>
				<verse number="28">එහෙත්, ඔහුට මිල දී ගන්නට නොහැකි නම්, එය ජුබිලි වර්ෂය වන තෙක් ඊට මුදල් ගෙවූ තැනැත්තාට අයිති ය. ජුබිලි වර්ෂයේ දී නැවත එය පළමු අයිතිකාරයා සතු වන්නේ ය.</verse>
				<verse number="29">“යමෙකු පවුරකින් වට කළ නගරයක වූ නිවාසයක් වික්කොත්, විකුණූ දින සිට සම්පූර්ණ පළමු අවුරුද්ද තුළ දී ආපසු මුදල් ගෙවා එය ගත හැකි ය.</verse>
				<verse number="30">එහෙත්, සම්පූර්ණ අවුරුද්ද ඇතුළත දී ඔහු මුදල් ගෙවා ආපසු නොගතහොත්, එය මිල ගෙවා ගත් තැනැත්තාටත්, ඔහුගේ පරපුරටත් සදහට ම අයිති වේ. ජුබිලි වර්ෂයේ දී ද අයිතිය ආපසු මාරු නොවනු ඇත.</verse>
				<verse number="31">එහෙත්, පවුරුවලින් වට නො වූ ග්‍රාමවල ඇති නිවාස නම්, කෙත්වතු සමඟ ගණන් ගත යුතු වේ. මුදල් ගෙවා ඒවා ආපසු ගත හැක, ජුබිලි වර්ෂයේ දී ඒවායේ අයිතිය මාරු වනු ඇත.</verse>
				<verse number="32">එහෙත් ලෙවීවරුන්ට නම්, ඔවුන්ගේ නගරවල පිහිටි නිවාස කැමැති වේලාවක මුදල් ගෙවා ආපසු හිමි කරගත හැක.</verse>
				<verse number="33">ලෙවී කෙනෙකු විසින් විකුණන ලද පවුරුවලින් වට වූ නගරයක ඇති නිවාසයක් මුදල් ගෙවා ආපසු නොගතහොත්, ජුබිලි වර්ෂයේ දී එය ආපසු ඔහුට දිය යුතු ය. මන්ද, නගරවල පිහිටි ලෙවීවරුන්ගේ නිවාස, ඉශ්රායෙල් ජනයා අතර ඔවුන්ට සදහට ම අයිති වේ.</verse>
				<verse number="34">එහෙත්, ලෙවීවරුන්ගේ නගර වට කර ඇති තණ බිම් නම්, කවරදා වත් නොවිකිණිය යුතු ය. ඒවා ඔවුන්ට සදහට ම අයිති වනු ඇත.”</verse>
				<verse number="35">“යම් ඉශ්රායෙල් ජාතිකයෙකු දිළිඳු බවට පත් වී, තමා නඩත්තු කරගැන්මට නොහැකි වේ නම්, ඔහුට නුඹලා සමඟ ජීවත් වීමට හැකි වන ලෙස, නුඹලා විදේශිකයෙකුට හෝ ආගන්තුකයෙකුට හෝ ආධාර කරන්නා සේ ඔහුට ද ආධාර කළ යුතු ය.</verse>
				<verse number="36">ඔහුගෙන් පොළියක් හෝ ලාභයක් හෝ නොගත යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට ගරුබිය පාන්න. එවැන්නෙකුට නුඹලා සමඟ ජීවත් වීමට ඉඩ හරින්න.</verse>
				<verse number="37">නුඹලා ඔහුට පොළියට මුදල් නොදිය යුතු ය. ලාභ අල්ලාගෙන ඔහුට ආහාර නොවිකිණිය යුතු ය.</verse>
				<verse number="38">කානාන් දේශය නුඹලාට දෙනු පිණිසත්, නුඹලාගේ දෙවියන් වහන්සේ වනු පිණිසත්, මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනා නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.”</verse>
				<verse number="39">“යම් ඉශ්රායෙල් ජාතිකයෙකු දිළිඳු බවට පත් වී, ඔහු තමා ම නුඹලාට විකුණාගනු ලැබුවහොත්, වහලෙකු මෙන් මෙහෙ කිරීමට ඔහුට බල නොකළ යුතු ය.</verse>
				<verse number="40">එහෙත්, කුලීකරුවෙකු මෙන් ද ආගන්තුකයෙකු මෙන් ද ඔහුට නුඹලා සමඟ විසිය හැක. ජුබිලි වර්ෂය දක්වා ඔහු නුඹලාට මෙහෙ කළ යුතු ය.</verse>
				<verse number="41">එවිට ඔහු ද ඔහුගේ දරුවන් ද නුඹලාගෙන් පිට වී, තමාගේ පවුලට හා පියාගේ උරුමයට ආපසු යනු ඇත.</verse>
				<verse number="42">මා විසින් මිසර දේශයෙන් පිටතට ගෙනෙන ලද මාගේ මෙහෙකරුවෝ ඔව්හු ය. එබැවින් වහලුන් මෙන් ඔවුන් නොවිකිණිය යුතු ය.</verse>
				<verse number="43">දැඩි ලෙස ඔවුන් පාලනය නොකළ යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට නුඹලා ගරුබිය පෑ යුතු ය.</verse>
				<verse number="44">නුඹලාට වහල් දැසිදසුන් අවශ්‍ය නම්, නුඹලා අවට සිටින විජාතීන්ගෙන් නුඹලා එවැන්නන් මිල දී ගත යුතු ය.</verse>
				<verse number="45">නුඹලා අතර වසන විදේශිකයන්ගේ දරුවන් නුඹලාට මිල දී ගත හැක. නුඹලාගේ රටෙහි උපදින මෙවැන්නන් නුඹලාට උරුම වනු ඇත.</verse>
				<verse number="46">තවද, නුඹලාගෙන් පසු නුඹලාගේ දරුවන්ට ද ඔවුන් උරුම කොට හිමි කර දෙන්නට පුළුවන. ඔවුන් සදහට ම නුඹලාගේ වහලුන් වනු ඇත. එහෙත්, නුඹලාගේ ජාතිකයන් වන ඉශ්රායෙල් ජනයා දැඩි ලෙස පාලනය නොකළ යුතු ය.</verse>
				<verse number="47">“නුඹලා සමඟ සිටින තාවකාලික ව වසන්නෙකු හෝ විදේශිකයෙකු හෝ පොහොසත් වන අතර, ඉශ්රායෙල් ජාතිකයෙකු දුගී බවට පත් වී, ඔහු විදේශිකයෙකුට හෝ ආගන්තුකයෙකුට හෝ විදේශිකයෙකුගේ පරපුරෙන් පැවතෙන යමෙකුට හෝ තමා ම විකුණාගතහොත්</verse>
				<verse number="48">නුඹලාට ඔහු ආපසු මිල දී ගත හැකි ය. ඔහුගේ සහෝදරයෙකුට හෝ</verse>
				<verse number="49">ඔහුගේ මාමාට හෝ මාමාගේ පුතුට හෝ තම පවුලේ කිට්ටු නෑයෙකුට හෝ මුදල් ගෙවා ඔහු ආපසු ගත හැක. ඔහුට වත්කමක් තිබේ නම්, මුදල් ගෙවා තමාට ම නිදහස ලබාගත හැකි ය.</verse>
				<verse number="50">ඔහු තමා මිල දී ගත් තැනැත්තා සමඟ එකඟ වී, තමා ම විකුණාගත් දින සිට ජුබිලි වර්ෂය දක්වා ඇති අවුරුදු ගණන් කළ යුතු ය. පසුව ඔහුට නිදහස දීම සඳහා ගෙවිය යුතු මිල නියම කළ යුත්තේ, කුලීකරුවෙකුට ගෙවන වේතනය අනුව ය.</verse>
				<verse number="51">ජුබිලි වර්ෂය දක්වා ඇති අවුරුදු ගණන බොහෝ නම්, ඒ අවුරුදු ගණන අනුව මිල දී ගත් මුදලින් කොටසක් නිදහස දීමේ දී ඔහුට ආපසු ගෙවිය යුතු ය.</verse>
				<verse number="52">අවුරුදු ගණන ස්වල්ප නම්, ඒ අවුරුදු ගණන අනුව මුදලින් කොටසක් ආපසු ගෙවිය යුතු ය.</verse>
				<verse number="53">තවද, ගෙවිය යුතු මුදල ගණන් ගත යුත්තේ කුලීකරුවෙකුට අවුරුදුපතා ගෙවන වේතනය අනුව ය, ඔහුගේ ස්වාමියා ද දැඩි ලෙස ඔහු පාලනය නොකළ යුතු ය.</verse>
				<verse number="54">මේ කාලය ඇතුළත දී ඔහු නිදහස ලබා නොගතහොත්, ජුබිලි වර්ෂයේ දී ඔහුත්, ඔහුගේ දරුවනුත් නිදහස ලැබිය යුතු ය.</verse>
				<verse number="55">මන්ද, ඉශ්රායෙල් ජනයා මාගේ වහල්ලු වන්නෝ ය. මා මිසර දේශයෙන් පිටතට ගෙනා ඔව්හු මාගේ වහල්ලු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.”</verse>
			</chapter>
			<chapter number="26">
				<verse number="1">“නුඹලාගේ දේශයෙහි නුඹලාගේ වන්දනාව පිණිස දේව පිළිම හෝ කැටයම් කළ ප්‍රතිමා හෝ ශිලාස්තම්භ හෝ නෙළූ ගල් රූප හෝ නොසෑදිය යුතු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.</verse>
				<verse number="2">මාගේ සබත් දිනයන් පවත්වා මාගේ ශුද්ධස්ථානයට ගරු කළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.</verse>
				<verse number="3">“මාගේ නීතිවලට කීකරු වී, මාගේ ආඥා පිළිපැද්දොත්,</verse>
				<verse number="4">මම නියම කාලයේ දී වැසි වස්වන්නෙමි. දේශය ද සරුසාර අස්වැන්නක් නිපදවනු ඇත. කෙත්වල ගස් ද පලදාව නිපදවන්නේ ය.</verse>
				<verse number="5">කමතේ ගොයම් පෑගීම මිදි පල නෙළන කාලය දක්වා ද මිදි පල නෙළන කාලය ධාන්‍ය වපුරන කාලය දක්වා ද දික්වනු ඇත. නුඹලාට කෑමට උවමනා තරම් ආහාර ලැබෙනු ඇත. නුඹලා ද සුරැකි ව නුඹලාගේ දේශයෙහි වසන්නහු ය.</verse>
				<verse number="6">“නුඹලාගේ දේශයෙහි මම නුඹලාට සාමය දෙන්නෙමි. නුඹලා ද කිසි බියක් සැකක් නැති ව සැතපෙනු ඇත. රටින් චණ්ඩ මෘගයන් පන්නාදමමි. නුඹලාගේ දේශයෙහි යුද්ධයක් ද සිදු නොවනු ඇත.</verse>
				<verse number="7">නුඹලා ද සතුරන් පන්නාදමන්නහු ය. නුඹලා ඉදිරියෙහි ඔව්හු කඩුවෙන් පහර ලැබ වැටෙන්නෝ ය.</verse>
				<verse number="8">නුඹලාගෙන් පස්දෙනෙක් සියදෙනකු ද සියදනෙක් දසදහසක් ද ලුහුබැඳ යන්නෝ ය. නුඹලා ඉදිරියෙහි ඔව්හු කඩුවෙන් පහර ලැබ වැටෙන්නෝ ය.</verse>
				<verse number="9">මම ද නුඹලාට ආශීර්වාද කොට නුඹලා සඵලවත් කොට, නුඹලා වර්ධනය කරන්නෙමි. නුඹලා සමඟ මා කළ ගිවිසුම ඉටු කරන්නෙමි.</verse>
				<verse number="10">නුඹලා කලින් රැස් කළ අස්වැන්නෙන් අනුභව කොට, නව අස්වැන්න පැමිණෙන විට පරණ අස්වැන්නෙන් ඉතිරි වන කොටස නුඹලාට ඉවත් කරන්නට සිදු වනු ඇත.</verse>
				<verse number="11">මම ද මාගේ මණ්ඩපය නුඹලා අතර පිහිටුවමි. මම නුඹලා ඉවත නොලන්නෙමි.</verse>
				<verse number="12">මම නුඹලා අතර වාසය කොට, නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. නුඹලා මාගේ සෙනඟ වන්නහු ය.</verse>
				<verse number="13">නුඹලා මිසර වාසීන්ගේ වහලුන් නො වන පිණිස මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනා නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි. නුඹලා පාලනය කළ ඔවුන්ගේ බලය බිඳදමා, නුඹලාට හිස ඔසවා යෑමට මම සැලැසුවෙමි.”</verse>
				<verse number="14">“නුඹලා මට සවන් නො දී, මෙකී සියලු ආඥා ඉටු නොකරන්නහු නම්,</verse>
				<verse number="15">මාගේ ආඥාවලට අකීකරු ව, මාගේ ගිවිසුම කඩ කරන පරිදි මාගේ නීති හෙළා දැක, මාගේ විනිශ්චය ප්‍රතික්ෂේප කරන්නහු නම්,</verse>
				<verse number="16">මම ද නුඹලාට මේ දේ කරමි. නුඹලා අන්ධ කරවන, ජරාවට පත් කරවන මහත් ව්‍යසන වන භීතිය, අසාධ්‍ය ලෙඩ රෝග හා උණ සන්නිපාත නුඹලා වෙත පමුණුවන්නෙමි. නුඹලා බීජ වපුරන නමුත් ඒවා නිෂ්ඵල වනු ඇත. නුඹලාගේ සතුරෝ ඒවා කාදමන්නෝ ය.</verse>
				<verse number="17">මම නුඹලාට විරුද්ධ වන්නෙමි. නුඹලාගේ සතුරන් ඉදිරියෙහි නුඹලා මරනු ලබන්නහු ය. නුඹලාගේ සතුරෝ නුඹලා පාලනය කරන්නෝ ය. කෙනෙකු නුඹලා ලුහුබැඳ නොයන විට පවා නුඹලා පලා යන්නහු ය.</verse>
				<verse number="18">“මේ සියල්ලෙන් පසු පවා නුඹලා මට සවන් නොදෙන්නහු නම්, මම නුඹලාගේ පාපවලට දඬුවම් සත් ගුණයකින් වැඩි කරන්නෙමි.</verse>
				<verse number="19">නුඹලාගේ අහංකාර බලය මම බිඳදමමි. අහස යකඩ මෙන් ද පොළොව ලෝකඩ මෙන් ද වියළෙනු ඇත.</verse>
				<verse number="20">නුඹලාගේ ශ්‍රමය ද නිකරුණේ වැය වනු ඇත. නුඹලාගේ ඉඩකඩම් අස්වැන්නක් නොදෙනු ඇත. කෙත්වතුවල ගස් ද පලදාව නොදෙනු ඇත.</verse>
				<verse number="21">“ඉන්පසු පවා මට අකීකරු ව හැසිරෙමින්, මට සවන් නොදෙන්නහු නම්, නුඹලාගේ පව් නිසා නුඹලාට තව සත් ගුණයකින් පීඩා පමුණුවන්නෙමි.</verse>
				<verse number="22">මම නුඹලා අතරට චණ්ඩ මෘගයන් එවන්නෙමි. ඒ මෘගයෝ නුඹලාගේ දරුවන් මරා, ගවයන් වනසා, නුඹලාගේ ජන සංබ්‍යාව අඩු කරන්නෝ ය. එවිට මාවත් ද පාළු වනු ඇත.</verse>
				<verse number="23">“මේ සියල්ල එවූ පසු පවා නුඹලා නොහැරී, මට විරුද්ධ ව ක්‍රියා කරන්නහු නම්,</verse>
				<verse number="24">මම ද නුඹලාට විරුද්ධ ව ක්‍රියා කොට නුඹලාගේ පාප නිසා තවත් හත් ගුණයකින් දඬුවම් කරමි.</verse>
				<verse number="25">මාගේ ගිවිසුම කඩ කළ නිසා දඬුවම් කරනු පිණිස නුඹලාගේ රටට යුද්ධයක් පමුණුවනු ලැබේ. නුඹලා නගරවල එක් රැස් වී සිටින විට මම නුඹලා අතරට වසංගත පමුණුවන්නෙමි. නුඹලාගේ සතුරන්ගේ බලයට නුඹලා පාවා දෙනු ලබන්නහු ය.</verse>
				<verse number="26">මා නුඹලාට ආහාර සපයන මාර්ග වැනසූ පසු, ස්ත්‍රීන් දසදෙනෙකුට රොටි පුළුස්සනු සඳහා එක උදුනක් ප්‍රමාණවත් වනු ඇත. නුඹලාගේ රොටි ඔවුන් සලාක කොට කිරා දුන් පසු, නුඹලා ඒවා කන නමුත්, නුඹලා සෑහීමට පත් නොවන්නහු ය.</verse>
				<verse number="27">“මේ සියල්ලට පසු පවා මට සවන් නො දී මට විරුද්ධ ව ක්‍රියා කරන්නහු නම්,</verse>
				<verse number="28">මම ද කෝපාවිෂ්ට ව නුඹලාගේ පාප නිසා නුඹලාට තව හත් ගුණයකින් දරුණු ලෙස දඬුවම් කරමි.</verse>
				<verse number="29">කුසගිනි වාවාගනු නොහැකි ව, නුඹලාගේ දරුදැරියන්ගේ මාංස නුඹලා කන්නහු ය.</verse>
				<verse number="30">මම ද නුඹලාගේ ගිරිකුළු දේවාල වනසා දේව ප්‍රතිමා සිඳ බිඳදමා, නුඹලාගේ මළකඳන් දේව පිළිමවල නටබුන් මත ගොඩ ගසන්නෙමි. මම ද නුඹලා පිළිකුල් කරන්නෙමි.</verse>
				<verse number="31">මම නුඹලාගේ නගර වනසා, ශුද්ධස්ථාන පාළු කොට, නුඹලාගේ පූජාවන්හි මිහිරි සුවඳ ආඝ්‍රාණය නොකරන්නෙමි.</verse>
				<verse number="32">නුඹලාගේ රට ද සහමුලින් ම පාළු කර හරින්නෙමි. එහි පදිංචි වන නුඹලාගේ සතුරන් එය දැක මවිත වනු ඇත.</verse>
				<verse number="33">නුඹලාට විරුද්ධ ව යුද්ධ ඇති කොට, මිසදිටුවන් අතර නුඹලා විසුරුවා හරිමි. නුඹලාගේ රට පාළු වනු ඇත, නගර වැනසෙනු ඇත.</verse>
				<verse number="34">“එවිට රට පාළු වී පවතින කාලය තුළ රටට විවේකය ලැබෙනු ඇත. නුඹලා සතුරන්ගේ රටෙහි වසන්නහු ය. එකල රටට විවේකය ලැබේ. රට එය ගැන ප්‍රීති වනු ඇත.</verse>
				<verse number="35">නුඹලා එහි වාසය කරද්දී ඊට සබත් විවේකයක් නුදුන් බැවින්, මෙලෙස රට පාළු ව පවතින කාලය තුළ දී එය විවේකය භුක්ති විඳිනු ඇත.</verse>
				<verse number="36">“තවද, සතුරන්ගේ රටවල තවමත් පණපිටින් සිටින අය වෙත මම දරුණු බියක් එවන්නෙමි. ඔවුන් ගසක කොළයක් සෙලවෙන විට පවා පලා යනු ඇත. බියට මෙන් ඔව්හු පලා යන්නෝ ය. කිසිවෙකු ඔවුන් ලුහුබැඳ නොයද්දී පවා ඔව්හු පලා ගොස් වැටෙන්නෝ ය.</verse>
				<verse number="37">මෙලෙස යුද්ධයක දී මෙන් එකා පිට එකා වැටෙන්නේ ය. සතුරන්ට මුහුණ දී සිටින්නට ද නුඹලාට හැකි නොවනු ඇත.</verse>
				<verse number="38">මෙලෙස නුඹලා විජාතිකයන් මධ්‍යයේ වැනසෙන්නහු ය. සතුරු රටවල් නුඹලා ගිලදමනු ඇත.</verse>
				<verse number="39">සතුරු රටවල ජීවත් ව සිටින්නෝ තමන්ගේ දුෂ්ටකම් නිසා ද තම පියවරුන්ගේ දුෂ්ටකම් නිසා ද ජරාවට පත්වන්නෝ ය.</verse>
				<verse number="40">“එවිට ඔවුන් මට විරුද්ධ ව කළ ද්‍රෝහිකමෙන් වූ තමන්ගේ අයුතුකම් ද තම පියවරුන්ගේ අයුතුකම් ද ඔවුන් මට විරුද්ධ ව හැසිරීම ද පිළිගත්තත්,</verse>
				<verse number="41">මම ඔවුන්ට විරුද්ධ ව ක්‍රියා කර ඔවුන්ගේ සතුරන්ගේ දේශයට ඔවුන් පමුණුවන්නෙමි. එකල්හි වත් ඔවුන්ගේ දරදඬු සිත් යටහත් වී ඔව්හු තමන්ගේ අයුතුකමේ දඬුවම පිළිගන්නෝ නම්,</verse>
				<verse number="42">එවිට මම ජාකොබ් සමඟ කළ ගිවිසුම ද ඊසාක් සමඟ කළ ගිවිසුම ද ආබ්‍රහම් සමඟ කළ ගිවිසුම ද සිහි කරන්නෙමි; දීමට පොරොන්දු වූ දේශය ද සිහි කරන්නෙමි.</verse>
				<verse number="43">සෙනඟ දේශය අත්හළ පසු, ජනශූන්‍ය ව තිබෙන හෙයින්, දේශයට සබත් විවේකය භුක්තිවිඳිය හැක. ඔවුන් මාගේ අණපණත් හෙළා දැක, මාගේ ව්‍යවස්ථාවන් පිළිකුල් කළ බැවින් ඔවුන් තමන්ගේ දුෂ්ටකමට ලැබූ දඬුවම පිළිගත යුතු ය.</verse>
				<verse number="44">කෙසේ වුව ද, ඔවුන්ගේ සතුරන්ගේ රටවල සිටින විට ඔවුන් සහමුලින් ම වනසාලනු පිණිස ද මා සමඟ පිහිටුවාගත් ගිවිසුම කඩ කිරීමට මඟ නොපෑදෙන ලෙස ද මම ඔවුන් අත් නොහරිමි. මම ඔවුන් පිළිකුල් නොකරමි. ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.</verse>
				<verse number="45">එහෙත්, ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන පිණිස, විජාතීන් ඉදිරිපිට දී ම මිසර දේශයෙන් ඔවුන් පිටතට ගෙනා මම, ඔවුන්ගේ මුතුන්මිත්තන් සමඟ පිහිටුවාගත් ගිවිසුම සිහි කරන්නෙමි. මම සමිඳාණන් වහන්සේ ය.”</verse>
				<verse number="46">සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් සීනයි කන්ද මත, ඉශ්රායෙල් ජනයා හා තමන් වහන්සේ අතර පිහිටුවාගත් ව්‍යවස්ථා, අණපණත් සහ නීති මේවා ය.</verse>
			</chapter>
			<chapter number="27">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,</verse>
				<verse number="2">“ඉශ්රායෙල් ජනයා අමතා මෙය කියන්නැ”යි වදාළ සේක. “යමෙකු බාරයක් ඉටු කරන පිණිස තමා ම සමිඳාණන් වහන්සේට කැප කරගත් විට, ඔහු නිදහස් වීම සඳහා ගෙවිය යුතු මුදල නියම කළ යුත්තේ පහත දක්වන පිළිවෙළට ය.</verse>
				<verse number="3">“ඔහු අවුරුදු විස්සේ සිට හැට දක්වා වයසැති පිරිමියෙක් නම්, ගෙවිය යුතු මුදල ශුද්ධස්ථානයේ මිලය අනුව රිදී කාසි පණහකි.</verse>
				<verse number="4">ස්ත්‍රියක් නම්, ගෙවිය යුතු මුදල රිදී කාසි තිහක් වේ.</verse>
				<verse number="5">“අවුරුදු පහේ සිට විස්ස දක්වා වයසැති පිරිමියෙක් නම්, ගෙවිය යුතු මුදල රිදී කාසි විස්සකි. ස්ත්‍රියක් නම්, රිදී කාසි දහයකි.</verse>
				<verse number="6">“මාසයේ සිට අවුරුදු පහ දක්වා වයසැති පිරිමි ළමයෙක් නම්, ගෙවිය යුතු මුදල රිදී කාසි පහකි. ගැහැණු ළමයෙක් නම්, රිදී කාසි තුනකි.</verse>
				<verse number="7">“අවුරුදු හැටට වැඩි වයසැති පිරිමියෙක් නම්, ගෙවිය යුතු මුදල රිදී කාසි පසළොසකි. ස්ත්‍රියක් නම්, රිදී කාසි දහයකි.</verse>
				<verse number="8">“බාරය වූ තැනැත්තා, නියම කළ මුදල ගෙවීමට නොහැකි දුප්පතෙක් නම්, ඔහු පූජකවරයා ඉදිරියෙහි පෙනී සිටිය යුතු ය. පූජකවරයා ද ඔහුගේ වත්කම අනුව මුදලක් නියම කරනු ඇත.</verse>
				<verse number="9">“බාර වූ දේ සමිඳාණන් වහන්සේට පූජාවක් ලෙස පිළිගත හැකි සතෙක් නම්, එලෙස උන් වහන්සේට පුදන දේ කැප වූවක් විය යුතු ය.</verse>
				<verse number="10">ඔහු බාර වූ පසු හොඳ සතෙකුට නරක සතෙකු හෝ නරක සතෙකුට හොඳ සතෙකු හෝ වශයෙන් මාරු නොකළ යුතු ය. එසේ මාරු කළොත්, සතුන් දෙදෙනා ම සමිඳාණන් වහන්සේට කැප කළ වස්තු වෙත්.</verse>
				<verse number="11">ඒ නිසා සමිඳාණන් වහන්සේට පූජාවක් කොට, අපවිත්‍ර යයි සැලකෙන සතෙක් ගෙනවිත් තිබේ නම්, ඒ තැනැත්තා ඌ පූජකවරයා වෙත ගෙනා යුතු ය.</verse>
				<verse number="12">පූජකවරයා ද උගේ හොඳ නරක හැටියට මිල නියම කළ පසු, ඒ මිල අවසාන තීරණය වනු ඇත.</verse>
				<verse number="13">ඒ තැනැත්තා ඌ නිදහස් කරගැනීමට කැමැති නම්, නියම කළ මිලට අමතර ව තව එයින් පහෙන් පංගුවක් ඊට එකතු කළ යුතු ය.</verse>
				<verse number="14">“යම් මිනිසෙකු සමිඳාණන් වහන්සේට තම නිවාසය කැප කළ විට, පූජකවරයා ද එහි හොඳ නරක තත්ත්වයේ හැටියට එහි මිල තක්සේරු කළ යුතු ය. පූජකවරයාගේ තක්සේරුව අවසාන තීරණය වනු ඇත.</verse>
				<verse number="15">එය කැප කළ තැනැත්තා, ඒ නිවාසය නිදහස් කරගැනීමට කැමැති නම්, එහි මිලට අමතර ව එයින් පහෙන් පංගුවක් එකතු කළ යුතු ය. එවිට නිවාසය ඔහුගේ වනු ඇත.</verse>
				<verse number="16">“යමෙක් තමාට ප්‍රවේණියෙන් හිමි ඉඩකඩම්වලින් යමක් සමිඳාණන් වහන්සේට කැප කරයි නම්, එය තක්සේරු කළ යුත්තේ එහි වැපිරිය හැකි ප්‍රමාණය අනුව ය. බාර්ලි ඇටවලින් කිලෝග්‍රෑම් විස්සක වටිනාකම රිදී කාසි දහයකි.</verse>
				<verse number="17">ඔහු තම ඉඩම ජුබිලි වර්ෂයේ දී කැප කරන්නේ නම්, සම්පූර්ණ තක්සේරු මුදල වලංගු වේ.</verse>
				<verse number="18">එහෙත්, ඉන්පසු එය කැප කරයි නම්, පූජකවරයා ඊළඟ ජුබිලි වර්ෂය දක්වා ඇති අවුරුදු ගණන් කොට, අඩු මිලක් නියම කළ යුතු ය.</verse>
				<verse number="19">ඉඩම කැප කළ තැනැත්තා එය නිදහස් කරගැනීමට කැමැති නම්, නියම කළ මුදලට අමතර ව තව පහෙන් පංගුවක් ඊට එකතු කළ යුතු ය. එවිට එය ඔහුගේ වනු ඇත.</verse>
				<verse number="20">එය නිදහස් කර නොගෙන, ඔහු යමෙකුට එය විකුණුවහොත්, එය ආපසු නිදහස් කරගැනීමට නොහැකි වනු ඇත.</verse>
				<verse number="21">එවිට ඊළඟ ජුබිලි වර්ෂයේ දී එය සමිඳාණන් වහන්සේට කැප කළ ඉඩමක් ලෙස ශුද්ධ භූමියක් වනු ඇත. එය පූජකවරයාට හිමි වේ.</verse>
				<verse number="22">“යමෙකු තමන්ට ප්‍රවේණියෙන් අයිති නො වූ ඉඩමක් මිලයට ගෙන එය සමිඳාණන් වහන්සේට කැප කළොත්,</verse>
				<verse number="23">පූජකවරයා එහි වටිනාකම තක්සේරු කළ යුත්තේ ජුබිලි වර්ෂය දක්වා ඇති අවුරුදු ගණන අනුව ය. ඒ දින ම ඔහු මුදල ගෙවිය යුතු ය. ඒ මුදල කැප වූ වස්තුවක් වනු ඇත.</verse>
				<verse number="24">ජුබිලි වර්ෂයේ දී ඒ ඉඩම පළමු හිමිකරුට හෝ ඔහුගෙන් පැවත එන අයට හෝ හිමි වනු ඇත.</verse>
				<verse number="25">“සියලු තක්සේරු ගිණිය යුත්තේ ශුද්ධස්ථානයේ මිලය අනුව ය. ගෙරා විස්සක් රිදී කාසි එකකි.</verse>
				<verse number="26">“සතෙකුගේ කුලුඳුල් පැටියා සමිඳාණන් වහන්සේගේ ම බැවින්, උන් වහන්සේට කැප කළ යුතු නොවේ. ඒ සතා වස්සෙක් හෝ බැටළු පැටියෙක් හෝ වේවා, ඌ සමිඳාණන් වහන්සේගේ ය.</verse>
				<verse number="27">එහෙත්, කුලුඳුල් සතා අපවිත්‍ර සතෙක් නම්, තක්සේරු මුදල අනුව ඊට පහෙන් පංගුවක් එකතු කොට ඌ මුදාගත යුතු ය. ඌ මුදා නොගන්නේ නම්, යමෙකුට නියම මුදලට ඌ විකිණිය හැක.</verse>
				<verse number="28">“යමෙකු සම්පූර්ණ වශයෙන් සමිඳාණන් වහන්සේට මිනිසෙකු හෝ සතෙකු හෝ තමාට අයිති ඉඩමක් හෝ කැප කළොත්, එය විකිණිය නොහැක, ඒවා ආපසු නිදහස් කොට ගත නොහැක. එවැන්නෙක් හෝ එවැන්නක් හෝ සමිඳාණන් වහන්සේට සහමුලින් ම ශුද්ධ වස්තුවකි.</verse>
				<verse number="29">සමිඳාණන් වහන්සේට සම්පූර්ණයෙන් ම කැප කළ මිනිසෙකු ආපසු නිදහස් කරගත නොහැකි ය. ඔහු මරණයට පත් කළ යුතු ම ය.</verse>
				<verse number="30">“කෙත්වතුවල ධාන්‍යයෙන් හෝ ගස්වල පලදාවෙන් හෝ ඇති වන භූමියේ මුළු අස්වැන්නෙන් දහයෙන් පංගුවක් සමිඳාණන් වහන්සේට කැප වූවකි. එවැන්නක් උන් වහන්සේට ශුද්ධ වස්තුවකි.</verse>
				<verse number="31">යමෙක් ඒ දහයෙන් පංගුව නිදහස් කරගනු කැමැති නම්, එයින් පහෙන් පංගුවක් ඊට අමතර ව එකතු කළ යුතු ය.</verse>
				<verse number="32">ගණන් කරන පිණිස කෙවිට යටින් යන ගව පට්ටිවල හෝ එළු බැටළු පට්ටිවල හෝ දහ වන සතා සමිඳාණන් වහන්සේට කැප කළ යුතු ය.</verse>
				<verse number="33">ඌ හොඳ ද, නරක ද කියා සොයන්නට හෝ ඌ මාරුකරන්නට හෝ ඔහුට යුතු නැත. එසේ මාරු කළොත්, පළමු සතුන් දෙදෙනා ම සමිඳාණන් වහන්සේට කැප වනු ඇත. උන් ආපසු නිදහස් කරගත නොහැක.”</verse>
				<verse number="34">සමිඳාණන් වහන්සේ සීනයි කන්දේ දී ඉශ්රායෙල් ජනයා උදෙසා මෝසෙස්ට දුන් ආඥා මේවා ය.</verse>
			</chapter>
		</book>
		<book number="4">
			<chapter number="1">
				<verse number="1">ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පිටතට පැමිණි දෙ වන අවුරුද්දේ, දෙ වන මාසයේ, පළමු වන දින දී සීනයි පාළුකරයේ සම්මුඛ මණ්ඩපයේ දී සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“මුළු ඉශ්රායෙල් ජනතාව අතර සියලු පිරිමින්, ඔවුනොවුන්ගේ පවුල් අනුව ද, පෙළපත් අනුව ද වෙන් වෙන් ව ගණන් කිරීම පිණිස සංගණනයක් පවත්වන්න.</verse>
				<verse number="3">එසේ ගිණිය යුත්තේ අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි සියලු පිරිමින් ය. නුඹ සහ ආරොන්, ඔවුන්ගේ සේනාංක අනුව ඔවුන් ගණන් කළ යුතු ය.</verse>
				<verse number="4">නුඹට සහාය දීමට එක් එක් පෙළපතෙන් ගෝත්‍රික නායකයෙකු සිටිය යුතු ය.</verse>
				<verse number="5">මෙලෙස නුඹට සහාය දෙන්නෝ පහත දැක්වෙන අය වෙත්. එනම්: රූබන්ගේ ගෝත්‍රයෙන් ෂෙදෙවුර්ගේ පුත් එලිශූර් ය.</verse>
				<verse number="6">සිමියොන්ගේ ගෝත්‍රයෙන් ශුරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල් ය.</verse>
				<verse number="7">ජුදාගේ ගෝත්‍රයෙන් අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් ය.</verse>
				<verse number="8">ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් ශූවර්ගේ පුත් නෙතනේල් ය.</verse>
				<verse number="9">සාබුලොන්ගේ ගෝත්‍රයෙන් හේලොන්ගේ පුත් එලියාබ් ය.</verse>
				<verse number="10">ජෝසෙප්ගේ පුතුන් අතරෙන්, එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් අම්මිහුද්ගේ පුත් එලිෂාමා සහ මනස්සේගේ ගෝත්‍රයෙන් පෙදාශූර්ගේ පුත් ගමාලියෙල් ය.</verse>
				<verse number="11">බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් ගිදෙයොනිගේ පුත් අබිදන් ය.</verse>
				<verse number="12">දාන්ගේ ගෝත්‍රයෙන් අම්මිෂද්දයිගේ පුත් අහියේසෙර් ය.</verse>
				<verse number="13">ආෂෙර්ගේ ගෝත්‍රයෙන් ඔක්‍රාන්ගේ පුත් පගියෙල් ය.</verse>
				<verse number="14">ගාද්ගේ ගෝත්‍රයෙන් දෙවුයෙල්ගේ පුත් එලියාසාප් ය.</verse>
				<verse number="15">නප්තලීගේ ගෝත්‍රයෙන් ඒනාන්ගේ පුත් අහිරා ය.”</verse>
				<verse number="16">මෙකී ගෝත්‍රික නායකයන් වන ඉශ්රායෙල් ජනයාගේ ප්‍රධානීහු, ජනතාව අතරෙන් තෝරාගන්නා ලදහ.</verse>
				<verse number="17">මෝසෙස් සහ ආරොන්, නම් කරන ලද මේ මිනිසුන් කැඳවා,</verse>
				<verse number="18">දෙ වන මාසයේ පළමු වන දින මුළු සෙනඟ රැස් කළහ. එවිට අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති සියල්ලන් ම තම තමන්ගේ පවුල් අනුව ද, පෙළපත් අනුව ද ලියාපදිංචි කරන ලදුව, වෙන් වෙන් වශයෙන් ඔවුන්ගේ නාම, ලේඛනගත කරන ලදී.</verse>
				<verse number="19">මෙලෙස සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ඔහු සීනයි පාළුකරයේ දී ජන සංගණනයක් පැවැත්වී ය.</verse>
				<verse number="20">අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ජාකොබ්ගේ වැඩිමහල් පුත් රූබන්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන, ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.</verse>
				<verse number="21">ඒ සංඛ්‍යා ලේඛන අනුව රූබන්ගේ ගෝත්‍රයට අයිති අය හතළිස් හයදාස් පන්සියයක් වූ හ.</verse>
				<verse number="22">අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, සිමියොන්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.</verse>
				<verse number="23">ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන පණස් නවදාස් තුන්සියයක් විය.</verse>
				<verse number="24">අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ගාද්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.</verse>
				<verse number="25">ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන හතළිස් පන්දාස් හයසිය පණහක් විය.</verse>
				<verse number="26">අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ජුදාගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.</verse>
				<verse number="27">ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන හැත්තෑ හාරදාස් හයසියයක් විය.</verse>
				<verse number="28">අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ඉස්සාකර්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.</verse>
				<verse number="29">ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන පණස් හාරදාස් හාරසියයක් විය.</verse>
				<verse number="30">අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, සාබුලොන්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.</verse>
				<verse number="31">ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන පණස් හත්දාස් හාරසියයක් විය.</verse>
				<verse number="32">අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ජෝසෙප්ගේ පුතුන් අතරෙන් එප්‍රායිම්ගේ ගෝත්‍රයට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.</verse>
				<verse number="33">ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන හතළිස්දාස් පන්සියයක් විය.</verse>
				<verse number="34">අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ජෝසෙප්ගේ පුතුන් අතරෙන් මනස්සේගේ ගෝත්‍රයට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.</verse>
				<verse number="35">ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන තිස්දෙදාස් දෙසියයක් විය.</verse>
				<verse number="36">අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, බෙන්ජමින්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.</verse>
				<verse number="37">ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන තිස් පන්දාස් හාරසියයක් විය.</verse>
				<verse number="38">අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, දාන්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.</verse>
				<verse number="39">ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන හැට දෙදාස් හත්සියයක් විය.</verse>
				<verse number="40">අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ආෂෙර්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.</verse>
				<verse number="41">ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන හතළිස් එක්දාස් පන්සියයක් විය.</verse>
				<verse number="42">අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, නප්තලීගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.</verse>
				<verse number="43">ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන පණස් තුන්දාස් හාරසියයක් විය.</verse>
				<verse number="44">මෝසෙස් හා ආරොන් විසින් ද එක එක පෙළපතට එක් එක්කෙනා බැගින් නියෝජනය කළ ඉශ්රායලේ සෙනඟගේ නායකයන් දොළොස් දෙනා විසින් ද මේ සියලු දෙන ලියාපදිංචි කරන ලදහ.</verse>
				<verse number="45">මෙසේ අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, මුළු ඉශ්රායෙල් ජනයා ඔවුන්ගේ පෙළපත් අනුව ලේඛනගත කරන ලදුව,</verse>
				<verse number="46">ඔවුන්ගේ මුළු සංඛ්‍යාව හයලක්ෂ තුන්දාස් පන්සිය පණස් දෙනෙක් විය.</verse>
				<verse number="47">එහතේ, මොවුන් සමඟ ලෙවීවරු තමන්ගේ පෙළපත් අනුව ලේඛනගත නොකරන ලදහ.</verse>
				<verse number="48">මන්ද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාරා තිබිණි:</verse>
				<verse number="49">“නුඹ ඉශ්රායෙල් ජනයා අතරෙන්, ලෙවීගේ ගෝත්‍රයේ අය පමණක් ලියාපදිංචි නොකළ යුතු ය; ඔවුන්ගේ සංගණනය නොගත යුතු ය.</verse>
				<verse number="50">තවද, නුඹ ගිවිසුම් කරඬුව තබා ඇති මණ්ඩපය ද එහි ඇති සියලු බඳුන් හා භාණ්ඩ ද පිළිබඳ ව වගකීම ඔවුන්ට බාර දිය යුතු ය. මණ්ඩපයත්, එහි ඇති බඳුන් සියල්ලත් උසුලාගෙන යා යුත්තෝ ඔව්හු ය. ඔවුන් එය තුළ පූජක සේවාව ඉටු කරමින්, එය වටේට කඳවුරු බැඳිය යුතු ය.</verse>
				<verse number="51">මණ්ඩපය වෙන තැනකට ගෙන යා යුතු විට, එය ගැලවිය යුත්තෝ ද වෙන තැනක එය සවි කළ යුත්තෝ ද ඔව්හු ය. අන් කිසිවෙකු ඊට ළං වුවහොත් ඔහු මරණයට පත් කළ යුතු ය.</verse>
				<verse number="52">ඉතිරි ඉශ්රායෙල් ජනයා කඳවුර ළඟ කණ්ඩායම් වශයෙන් එක් එක්කෙනා තම තමන්ගේ ධජය යට තම තමන්ගේ කූඩාරම් ගැසිය යුතු ය.</verse>
				<verse number="53">ඉශ්රායෙල් ජනයා මත මාගේ උදහස නොපැමිණෙන පිණිස, ගිවිසුම් කරඬුව ඇති මණ්ඩපය වටේට ලෙවීවරුන් තමන්ගේ කූඩාරම් ගැසිය යුතු ය. මෙලෙස ඔවුන් එය රැකවල් කළ යුතු වේ.”</verse>
				<verse number="54">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි ඉශ්රායෙල් ජනයා ද සියල්ල ඉටු කළහ.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“ඉශ්රායෙල් ජනයා අතර සෑම කෙනෙක් ම තම පිය පෙළපත්හි ලකුණු අනුව, තම ගෝත්‍රයේ ධජය සමීපයේ තම තමාගේ කූඩාරම ගැසිය යුතු වේ. එහෙත්, ඒවා ගැසිය යුත්තේ සම්මුඛ මණ්ඩපය ඉදිරියේ වටකරමින් ය.</verse>
				<verse number="3">පෙරදිග, ඉර උදා වන පැත්තේ ජුදාගේ කඳවුරේ ධජයට අයත් සියල්ලන් කණ්ඩායම් වශයෙන් කූඩාරම් ගැසිය යුතු ය. ජුදාගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ අධිපතියා අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් වනු ඇත.</verse>
				<verse number="4">ලියාපදිංචි කරන ලද ඔහුගේ හමුදාව ද හැත්තෑ හාරදාස් හයසියයක් වනු ඇත.</verse>
				<verse number="5">ඊට යාබද ව ඉස්සාකර්ගේ ගෝත්‍රයට අයිති වූවන් කූඩාරම් ගැසිය යුතු ය. ඔවුන්ගේ ප්‍රධානියා ශූවර්ගේ පුත් නෙතනේල් වනු ඇත.</verse>
				<verse number="6">ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව පණස් හතරදාස් හාරසියයක් වනු ඇත.</verse>
				<verse number="7">ඊළඟට සාබුලොන්ගේ ගෝත්‍රය විය යුතු ය. එහි ප්‍රධානියා හේලොන්ගේ පුත් එලියාබ් වනු ඇත.</verse>
				<verse number="8">ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව පණස් හත්දාස් හාරසියයක් වනු ඇත.</verse>
				<verse number="9">ජුදාගේ කඳවුරේ මෙලෙස ලියාපදිංචි කළ අයගේ මුළු ගණන එක්ලක්ෂ අසූහයදාස් හාරසියයක් වේ. මොවුන් පළමුවෙන් පිටත් ව යා යුතු ය.</verse>
				<verse number="10">දකුණු දිශාවට රූබන්ගේ කඳවුරේ ධජයට අයිති සියල්ලන් කණ්ඩායම් වශයෙන් කූඩාරම් ගැසිය යුතු ය. තවද, මොහුගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ ප්‍රධානියා ෂෙදෙයුර්ගේ පුත් එලිශූර් වනු ඇත.</verse>
				<verse number="11">ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව හතළිස් හයදාස් පන්සියයක් වේ.</verse>
				<verse number="12">ඊට යාබද ව සිමියොන්ගේ ගෝත්‍රයට අයිති වූවන් කූඩාරම් ගැසිය යුතු ය. මොවුන්ගේ ප්‍රධානියා ශුරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල් වනු ඇත.</verse>
				<verse number="13">ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව පණස් නවදාස් තුන්සියයක් වේ.</verse>
				<verse number="14">ඊළඟට ගාද්ගේ ගෝත්‍රය විය යුතු ය. මොවුන්ගේ ප්‍රධානියා රෙවුයෙල්ගේ පුත් එලියාසාප් වනු ඇත.</verse>
				<verse number="15">ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව හතළිස් පන්දාස් හයසිය පණහක් වේ.</verse>
				<verse number="16">මෙලෙස රූබන්ගේ කඳවුරේ ලියාපදිංචි කළ අයගේ මුළු ගණන එක්ලක්ෂ පණස් එක්දාස් හාරසිය පණහක් වේ. මොවුන් දෙවනු ව පිටත් ව යා යුතු ය.</verse>
				<verse number="17">ඉන්පසු කඳවුර මැද සිටින ලෙවීවරුන්ගේ හමුදාව සම්මුඛ මණ්ඩපය උසුලාගෙන ඉදිරියට යා යුතු වේ. ඔවුන් ඉදිරියට යා යුත්තේ, කඳවුරු බැඳගෙන තිබෙන පිළිවෙළට සෑම කෙනෙකු ම තම තමාගේ ගෝත්‍රික ධජය සමීපයෙන් ය.</verse>
				<verse number="18">බටහිර දිශාවට එප්‍රායිම්ගේ කඳවුරේ ධජයට අයත් සියල්ලන් කණ්ඩායම් වශයෙන් කූඩාරම් ගැසිය යුතු ය. තවද, මොහුගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ ප්‍රධානියා අම්මිහුද්ගේ පුත් එලිෂාමා වනු ඇත.</verse>
				<verse number="19">ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව හතළිස්දාස් පන්සියයක් වේ.</verse>
				<verse number="20">ඊට යාබද ව මනස්සේගේ ගෝත්‍රය විය යුතු ය. මොවුන්ගේ ප්‍රධානියා පෙදාශූර්ගේ පුත් ගමාලියෙල් වනු ඇත.</verse>
				<verse number="21">ලියාපදිංචි කළ මොහුගේ හමුදාව තිස්දෙදාස් දෙසියයක් වේ.</verse>
				<verse number="22">ඊළඟට බෙන්ජමින්ගේ ගෝත්‍රය විය යුතු ය. මොවුන්ගේ ප්‍රධානියා ගිදෙයොනිගේ පුත් අබිදාන් වනු ඇත.</verse>
				<verse number="23">ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව තිස්පන්දාස් හාරසියයක් වේ.</verse>
				<verse number="24">මෙලෙස එප්‍රායිම්ගේ කඳවුරේ ලියාපදිංචි කළ අයගේ මුළු ගණන එක්ලක්ෂ අටදාස් එකසියයක් වේ. මොවුන් තුන්වනු ව පිටත් ව යා යුතු ය.</verse>
				<verse number="25">උතුරු දිශාවට දාන්ගේ කඳවුරේ ධජයට අයත් සියල්ලන් කණ්ඩායම් වශයෙන් කූඩාරම් ගැසිය යුතු ය. තවද, මොහුගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ ප්‍රධානියා අම්මිෂද්දයිගේ පුත් අහියේසෙර් වනු ඇත.</verse>
				<verse number="26">ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව හැට දෙදාස් හත්සියයක් වේ.</verse>
				<verse number="27">ඊට යාබද ව ආෂෙර්ගේ ගෝත්‍රයට අයිති වූවන් කූඩාරම් ගැසිය යුතු ය. මොවුන්ගේ ප්‍රධානියා ඔක්‍රාන්ගේ පුත් පගියෙල් වනු ඇත.</verse>
				<verse number="28">ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව හතළිස් එක්දාස් පන්සියයක් වේ.</verse>
				<verse number="29">ඊළඟට නප්තලීගේ ගෝත්‍රය විය යුතු ය. මොවුන්ගේ ප්‍රධානියා ඒනාන්ගේ පුත් අහිරා වනු ඇත.</verse>
				<verse number="30">ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව පණස් තුන්දාස් හාරසියයක් වේ.</verse>
				<verse number="31">මෙලෙස දාන්ගේ කඳවුරේ ලියාපදිංචි කළ අයගේ මුළු ගණන එක්ලක්ෂ පණස් හත්දාස් හයසියයක් වේ. මොවුන් තම තමන්ගේ ධජ අනුව අන්තිමට පිටත් ව යා යුතු ය.”</verse>
				<verse number="32">මෙලෙස කඳවුරුවලට අයත් සේනාංක සියල්ලේ ම, පිය පෙළපත් අනුව ලියාපදිංචි කළ ඉශ්රායෙල් ජනයාගේ මුළු ගණන හයලක්ෂ තුන්දාස් පන්සිය පණහක් විය.</verse>
				<verse number="33">එහෙත්, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ ප්‍රකාර ඉශ්රායෙල් ජනයා අතර ලෙවීවරු ලියාපදිංචි නොකරන ලදහ.</verse>
				<verse number="34">උන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල අනුව ඉශ්රායෙල් ජනයා ද ඉටු කළහ. මෙලෙස ඔව්හු තම පිය පෙළපත් අනුව, තම සේනාංකයේ ධජය සමීපයේ කූඩාරම් ගසාගත්හ; ඒ පිළිවෙළට ම නික්ම ගියහ.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">සමිඳාණන් වහන්සේ සීනයි කන්ද මත මෝසෙස් සමඟ කතා කළ කාලයේ දී, ඔහුගේ සහ ආරොන්ගේ පවුල්වලට අයත් අය මොවුහු වූ හ.</verse>
				<verse number="2">ආරොන්ගේ පුත්‍රයන්ගේ නාම වනාහි ඔහුගේ කුලුඳුලා වූ නාදාබ් සහ අබීහු, එලෙයාසර් සහ ඊතාමාර් ය.</verse>
				<verse number="3">පූජක නිලයේ සමිඳාණන් වහන්සේගේ සේවාවට කැප කරන පිණිස ආරොන් ආලේප කළ ඔහුගේ පුත්‍රයෝ මොවුහු වූ හ.</verse>
				<verse number="4">සීනයි පාළුකරයේ දී නාදාබ් සහ අබීහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි අනියම් ගිනි ඔප්පු කළ විට ඔව්හු මළහ. ඔවුන්ට දරුවෝ ද නො වූ හ. එබැවින් එලෙයාසර් සහ ඊතාමාර්, තම පියා වන ආරොන්ගේ ජීවිත කාලයේ දී පූජක නිලයේ සේවා ඉටු කළහ.</verse>
				<verse number="5">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,</verse>
				<verse number="6">“ලෙවීගේ ගෝත්‍රයට අයිති වූවන් කැඳවාගෙනවුත්, පූජක ආරොන්ට සේවය කරන පිණිස ඔවුන් පත් කරන්න.</verse>
				<verse number="7">මණ්ඩපයේ සේවාවන්ට අදාළ ව, සම්මුඛ මණ්ඩපය ඉදිරිපිට ආරොන් සහ මුළු ජනතාව පිළිබඳ වගකීම් ඔවුන් බාරගත යුතු ය.</verse>
				<verse number="8">ඔවුන් සම්මුඛ මණ්ඩපයට අයත් බඩු භාණ්ඩ භාරගෙන, මණ්ඩපයේ සේවාවන් පිළිබඳ ව ඉශ්රායෙල් ජනයාගේ වගකීම් ඉටු කළ යුතු ය.</verse>
				<verse number="9">නුඹ ලෙවීවරුන් ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන් හට කැප කොට භාර දිය යුතු ය. මෙසේ ඉශ්රායෙල් ජනයා අතරෙන් ඔවුන් භාර දෙනු ඇත.</verse>
				<verse number="10">එහෙත්, නුඹ ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පූජක නිලයේ සේවාවන් ඉටු කිරීම පිණිස පත් කළ යුතු ය. අන් කිසිවෙකු ළං වුවහොත් ඔහු මරණයට පත් කරනු ලැබේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="11">යළි සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කරමින්,</verse>
				<verse number="12">“මම ඉශ්රායෙල් ජනයාගේ මවු කුසයෙන් බිහි වන සියලු ම කුලුඳුලන් වෙනුවට ඉශ්රායෙල් ජනයා අතරෙන් ලෙවීවරුන් තෝරාගතිමි. ඔවුන් මාගේ වනු ඇත.</verse>
				<verse number="13">මන්ද, සියලු කුලුඳුලෝ මට අයිති ය. මිසර දේශයේ සියලු කුලුඳුලන් මැරූ දිනයේ දී, මම ඉශ්රායෙල් ජනයා අතර කුලුඳුල් දරුවන් හා කුලුඳුල් සතුන් මට ම කැප කොටගතිමි. ඔවුන් මට අයිති වනු ඇත. මම සමිඳාණන් වහන්සේ වෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="14">නැවතත් සමිඳාණන් වහන්සේ සීනයි පාළුකරයේ දී මෝසෙස්ට කතා කොට,</verse>
				<verse number="15">“ලෙවීගේ ගෝත්‍රයට අයත්, මාසයක් හා ඊට වඩා වයසැති සියලු පිරිමින් ඔවුන්ගේ පිය පෙළපත් හා පවුල් අනුව ලියාපදිංචි කරන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="16">මෝසෙස් ද උන් වහන්සේ අණ කළ පරිදි එය ඉටු කෙළේ ය.</verse>
				<verse number="17">ලෙවීගේ පුත්‍රයෝ නම් ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරී ය.</verse>
				<verse number="18">පවුල් වශයෙන් ගේර්ෂොන්ගේ පුත්‍රයෝ නම් ලිබ්නි සහ ෂිමෙයි ය.</verse>
				<verse number="19">පවුල් වශයෙන් කොහාත්ගේ පුත්‍රයෝ නම් අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උශ්ශියෙල් ය.</verse>
				<verse number="20">පවුල් වශයෙන් මෙරාරීගේ පුත්‍රයෝ නම් මාලී සහ මුෂී ය. තම පිය පෙළපත් අනුව ලෙවීවරුන්ගේ පවුල් මේවා ය.</verse>
				<verse number="21">ගේර්ෂොන්ගේ පවුල්වලට අයිති වූවෝ ලිබ්නිගේ සහ ෂිමෙයිගේ පවුල්වල අය වෙත්.</verse>
				<verse number="22">ඔවුන් අතර ලියාපදිංචි කරන ලද, මාසයක් හා ඊට වඩා වයසැති පිරිමින්ගේ මුළු ගණන හත්දාස් පන්සියයක් විය.</verse>
				<verse number="23">මොවුන් මණ්ඩපයෙන් බටහිර දිශාවට තමන්ගේ කූඩාරම් ගැසිය යුතු වේ.</verse>
				<verse number="24">තවද, මොවුන්ගේ ප්‍රධානියා, ලායෙල්ගේ පුත් එලියාසාප් ය.</verse>
				<verse number="25">මොවුන්ට සම්මුඛ මණ්ඩපයේ පහත දක්වන කොටස් භාර විය. එනම්, මළුවේ තිර ද, මණ්ඩපය ද, එහි වැස්ම ද කඩතුරාව ද</verse>
				<verse number="26">මළුවේ තිර ද මණ්ඩපයට සම්බන්ධ පූජාසනය වටේට වූ මළුවේ දොරට දැමූ තිරය ද මේවා සම්බන්ධ සියලු සේවාවන්ට අවශ්‍ය ලණු ද වේ.</verse>
				<verse number="27">කොහාත්ගේ පවුල්වලට අයිති වූවෝ නම් අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උශ්ශියෙල්ගේ පවුල්වල අය වෙත්.</verse>
				<verse number="28">ඔවුන් අතර ලියාපදිංචි කළ, මාසයක් හා ඊට වඩා වයසැති පිරිමින්ගේ මුළු එකතුව අටදාස් හයසියයක් වේ. මොවුහු ශුද්ධස්ථානයේ සේවය භාරගන්නෝ ය.</verse>
				<verse number="29">මොවුන් මණ්ඩපයෙන් දකුණු දිශාවට තමන්ගේ කූඩාරම් ගැසිය යුතු ය.</verse>
				<verse number="30">තවද, මොවුන්ගේ ප්‍රධානියා උශ්ශියෙල්ගේ පුත් එලිශාපාන් ය.</verse>
				<verse number="31">මොවුන් හට පහත දක්වන ඒවා භාර විය යුතු ය. එනම්, ගිවිසුම් ‍‍කරඬුව සහ මේසය ද, පහන් රුක ද පූජාසනය සහ සේවාවට ගන්නා ශුද්ධස්ථානයේ සියලු බඩු භාණ්ඩ ද, කඩතුරාව සහ මේවා සම්බන්ධ සේවාවන් සියල්ල ද වේ.</verse>
				<verse number="32">පූජක ආරොන්ගේ පුත් එලෙයාසර්, ලෙවීවරුන්ගේ ප්‍රධානියා වේ. ශුද්ධස්ථානයේ සේවාවන් ඉටු කරන්නන් පිළිබඳ වගකීම ඔහු සතු ය.</verse>
				<verse number="33">මෙරාරීගේ පවුල්වලට අයත් වූවෝ නම්, මාලී සහ මුෂීගේ පවුල්වල අය වෙත්.</verse>
				<verse number="34">ඔවුන් අතර ලියාපදිංචි කළ මාසයක් හා ඊට වඩා වයසැති පිරිමින්ගේ මුළු ගණන හයදාස් දෙසියයකි.</verse>
				<verse number="35">තවද, මොවුන්ගේ ප්‍රධානියා අබිහයිල්ගේ පුත් ශුරියෙල් ය. මොවුන් මණ්ඩපයෙන් උතුරු දිශාවට තමන්ගේ කූඩාරම් ගැසිය යුතු ය.</verse>
				<verse number="36">මොවුන් හට පැවරෙන වගකීම පහත දක්වන ඒවා පිළිබඳ ව ය. එනම්, මණ්ඩපයේ ලෑලි ද හරස් පොලු ද කණු ද තවු ද එහි සියලු භාණ්ඩ සහ මේවා සම්බන්ධ සේවාවන්ට ගන්න සියල්ල ද</verse>
				<verse number="37">මළුව වටේට ඇති කණු ද ඒවායේ තවු ද ඇබ සහ ලණු ද වේ.</verse>
				<verse number="38">මණ්ඩපයේ ඉදිරිපිට සිට එහි පෙරදිගට එනම්, සම්මුඛ මණ්ඩපයෙන් නැගෙනහිර අංශයට කූඩාරම් ගැසිය යුත්තෝ නම් මෝසෙස්, ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ වෙති. මොවුන් ඉශ්රායෙල් ජනයා උදෙසා ශුද්ධස්ථානයේ පවත්වන මෙහෙයයන් පිළිබඳ වගකීම දැරිය යුතු ය. අන් කිසිවෙකු ළඟා වුවහොත් ඔහු මරණයට පත් කරනු ලැබේ.</verse>
				<verse number="39">මෙලෙස සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි මෝසෙස් සහ ආරොන් විසින් ලියාපදිංචි කරන ලද, ලෙවීවරුන්ගේ පවුල්වලට අයත්, මාසයක් හා ඊට වඩා වයසැති සියලු පිරිමින්ගේ මුළු ගණන විසි දෙදහසක් විය.</verse>
				<verse number="40">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ඉශ්රායෙල් ජනයා අතරෙන් මාසයකට හා ඊට වඩා වයසැති සියලු කුලුඳුල් දරුවන්ගේ නම් අනුව ඔවුන් ලියාපදිංචි කරන්න.</verse>
				<verse number="41">මම සමිඳාණන් වහන්සේ වෙමි. ඉශ්රායෙල් ජනයා අතර සියලු කුලුඳුලන් වෙනුවට ලෙවීවරුන් පමණක් මට වෙන් කරන්න. තවද, ඉශ්රායෙල් ජනයාගේ සියලු කුලුඳුල් ගවයන් වෙනුවට, ලෙවීවරුන්ගේ ගවයන් මට වෙන් කරන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="42">මෝසෙස් ද සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි ඉශ්රායෙල් ජනයා අතර සියලු කුලුඳුලන් ලියාපදිංචි කෙළේ ය.</verse>
				<verse number="43">මෙලෙස මාසයක් හා ඊට වඩා වයසැති වෙන් වෙන් ව ලියාපදිංචි කරන ලද අයගේ මුළු එකතුව විසි දෙදාස් දෙසිය හැත්තෑතුනක් විය.</verse>
				<verse number="44">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,</verse>
				<verse number="45">“ඉශ්රායෙල් ජනයා අතර සිටින සියලු කුලුඳුලන් වෙනුවට, ලෙවීවරුන්ගේ කුලුඳුලන් ද, ඉශ්රායෙල් ජනයාගේ ගවයන් වෙනුවට ලෙවීවරුන්ගේ ගවයන් ද මට වෙන් කරන්න. ලෙවීවරුන් මගේ වනු ඇත. මම සමිඳාණන් වහන්සේ වෙමි.</verse>
				<verse number="46">ලෙවීවරුන්ගේ කුලුඳුලන් සංඛ්‍යාවට වඩා වැඩි වූ ඉශ්රායෙල්වරුන්ගේ කුලුඳුලන් දෙසිය හැත්තෑතුන් දෙනා මුදාගැනීම පිණිස</verse>
				<verse number="47">නුඹ ලියාපදිංචි කළ ඒ එක් එක්කෙනා වෙනුවට ශුද්ධස්ථානයේ සම්මත රිදී කාසි මිල අනුව රිදී කාසි පහ බැගින් අය කළ යුතු ය. රිදී කාසි එකක් ගේරා විස්සකට සමාන වේ.</verse>
				<verse number="48">තවද, නුඹ මෙලෙස වැඩිපුර සිටි අය මුදාගැනීමට ආපසු ගෙවූ මුදල, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට දිය යුතු ය”යි වදාළ සේක.</verse>
				<verse number="49">මෝසෙස් ද ලෙවීවරුන්ට වඩා ඉශ්රායෙල් ජනයා අතර සිටි කුලුඳුලන් ආපසු මුදාගැනීමට ගෙවූ මුදල ගත්තේ ය.</verse>
				<verse number="50">ශුද්ධස්ථානයේ සම්මත මිල අනුව, ගෙවූ මුදල රිදී කාසි එකදාස් තුන්සිය හැටපහක් විය.</verse>
				<verse number="51">සමිඳාණන් වහන්සේ ඔහුට අණ කළ පරිදි, ඔහු එය ඉටු කරමින් මුදාගැනීමට ගෙවූ මුදල ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට දුන්නේ ය.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට සහ ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“ලෙවීගේ පුතුන් අතරෙන් කොහාත්ගේ පරපුරට පැවතෙන්නන්ගේ පවුල් හා පිය පෙළපත් අනුව සංගණනයක් ගන්න.</verse>
				<verse number="3">අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවය කළ හැකි සියල්ලන් සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා ලියාපදිංචි කරන්න.</verse>
				<verse number="4">සම්මුඛ මණ්ඩපය තුළ මොවුන්ගේ සේවය නම්, එහි ඇති ශුද්ධ බඩු භාණ්ඩ ගැන වගකීම ය.</verse>
				<verse number="5">“කඳවුරේ කූඩාරම් ගලවා ඉදිරියට යා යුතු අවස්ථාව පැමිණි විට, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් විත් ගිවිසුම් කරඬුව ඉදිරිපිට ඇති තිරය ගලවා, එයින් ගිවිසුම් කරඬුව වැසිය යුතු ය.</verse>
				<verse number="6">ඉන්පසු පදම් කළ සම් ආවරණය එය මත දමා, මේ සියල්ල මත නිල් පාට රෙද්දක් ඇතිරිය යුතු ය. මෙසේ කළ පසු එය උසුලාගෙන යන හරස් පොලු ඊට දැමිය යුතු වේ.</verse>
				<verse number="7">“ඉන්පසු පිදුම් රොටි තබන මේසය මත නිල්වන් රෙද්දක් අතුරා, ඒ පිට තැටි ද ධූම පාත්‍ර ද පිදීමේ පාත්‍ර ද කෙණ්ඩි ද තැබිය යුතු ය. රොටි ද නිරන්තරයෙන් ඒ මත තිබෙන්නට හැරිය යුතු ය.</verse>
				<verse number="8">පසුව මේවා පිට දම් පාට රෙද්දක් අතුරා, පදම් කළ සම් ආවරණයකින් ඒ සියල්ල වැසිය යුතු ය. මෙසේ කළ පසු මෙය උසුලාගෙන යෑමට හරස් පොලු දැමිය යුතු වේ.</verse>
				<verse number="9">“තවද, ඔවුන් නිල්වන් රෙදි කඩක් ගෙන, පහන් රුක ද එහි සේවාවන්ට ගන්නා පහන් ද කතුරු ද ඒවායේ තැටි ද තෙල් බඳුන් ද වැසිය යුතු ය.</verse>
				<verse number="10">මෙසේ කළ පසු පදම් කළ සම් ආවරණයකින් ඒ සියල්ල ඔතා මැස්ස පිට තැබිය යුතු වේ.</verse>
				<verse number="11">“ඉන්පසු රන් පූජාසනය මත නිල්වන් රෙදි කඩක් අතුරා, පදම් කළ සම් ආවරණයකින් එය වසා, උසුලාගෙන යන හරස් පොලු එහි දැමිය යුතු ය.</verse>
				<verse number="12">තවද, ශුද්ධස්ථානයේ සේවාවට භාවිත කෙරෙන බඳුන් සියල්ල ගෙන, ඒවා නිල්වන් රෙදි කඩකින් ඔතා, පදම් කළ සම් ආවරණයක් එය මත අතුරා, මේ සියල්ල මැස්ස උඩ තැබිය යුතු ය.</verse>
				<verse number="13">පූජාසනයේ අළු ඉවත් කොට, එය මත දම් පාට රෙදි කඩක් ඇතිරිය යුතු ය.</verse>
				<verse number="14">ඉන්පසු පූජාසනයේ මෙහෙයට භාවිත කරන සියලු ම භාණ්ඩ වන ධූම පාත්‍ර ද මස් කොකු ද හැඳි ද තලි ද එය මත තබා, පදම් කළ සම් ආවරණයක් මේ සියල්ල පිට ඇතිරිය යුතු ය. මෙසේ කළ පසු එය උසුලාගෙන යෑමට හරස් පොලු එහි දැමිය යුතු වේ.</verse>
				<verse number="15">“මෙලෙස කඳවුර ගලවා ඉදිරියට යන අවස්ථාවක, ආරොන් සහ ඔහුගේ පුතුන් ශුද්ධස්ථානය හා එහි සියලු බඩු භාණ්ඩ වසා නිම කළ පසු කොහාත්ගේ දරුපරපුර පැමිණ එය උසුලාගෙන යා යුතු ය. එහෙත්, ඔවුන් ශුද්ධ වූ කිසි ම භාණ්ඩයකට අත නොතැබිය යුතු ය. එසේ කළොත් ඔවුන් මිය යනු ඇත. සම්මුඛ මණ්ඩපය පිළිබඳ කොහාත්ගේ දරුපරපුරට පැවරෙන වගකීම මෙය වේ.</verse>
				<verse number="16">“පූජක ආරොන්ගේ පුත්‍ර එලෙයාසර්ට පැවරෙන වගකීම පහනට උවමනා තෙල් ද සුවඳ ද්‍රව්‍ය ද දිනපතා පුදන ධාන්‍ය පූජාව සහ ආලේප තෛලය ද බලාගැනීමත්, කූඩාරම මුළුමනින් ම ද ශුද්ධස්ථානයේ ඇති සියල්ල හා එහි බඩු භාණ්ඩ ද බලාගැනීමත් වනු ඇත.”</verse>
				<verse number="17">නැවතත් සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට,</verse>
				<verse number="18">“ලෙවීවරුන් අතරෙන් කොහාත්ගේ ගෝත්‍රයේ දරුපරපුර පහ නොකරන්න.</verse>
				<verse number="19">ඔවුන් අතිශුද්ධ බඩු භාණ්ඩවලට ළඟා වන විට නොමැරී, ජීවත් වනු පිණිස ඔවුන් ගැන කලින් කී පරිදි ක්‍රියා කරන්න. ආරොන් හා ඔහුගේ පුත්‍රයන් ඇතුළු වී, කොහාත්ගේ ගෝත්‍රයේ සෑම කෙනෙකුට ම පැවරෙන සේවාව හා වගකීමට ඔවුන් පත් කළ යුතු ය.</verse>
				<verse number="20">එහෙත්, ඔවුන් මොහොතකට වත් අතිශුද්ධ බඩු භාණ්ඩ බැලීමට ඇතුළු නොවිය යුතු ය. එසේ බැලුවොත් ඔවුන් මැරෙනු ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="21">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="22">“ගේර්ෂොන්ගේ දරුපරපුරේ සංගණනය ඔහුගේ පිය පෙළපත් සහ පවුල් අනුව පවත්වන්න.</verse>
				<verse number="23">අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවය කළ හැකි සියල්ලන් සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා ලියාපදිංචි කරන්න.</verse>
				<verse number="24">මොවුන්ගේ සේවාව සහ වගකීම පහත දක්වන ඒවා පිළිබඳ ව ය.</verse>
				<verse number="25">ඔවුන් මණ්ඩපයේ තිර ද, තිරයෙන් ආවරණය වූ සම්මුඛ මණ්ඩපය ද, එහි අභ්‍යන්තර ආවරණය ද, ඒ මත අතුරා ඇති පදම් කළ සම් ආවරණය ද, සම්මුඛ මණ්ඩපයේ දොරටුවේ කඩතුරාව ද,</verse>
				<verse number="26">මළුවේ තිර ද, මණ්ඩපය සහ පූජාසනය වටේට ඇති මළුවේ දොරටුවට යොදා තිබෙන කඩතුරාව ද, ඒවායේ ලණු ද, ඒවායේ මෙහෙයට භාවිත කරන සියලු බඩු භාණ්ඩ සහ අනිකුත් සියල්ල ද උසුලාගෙන යා යුතු ය.</verse>
				<verse number="27">ගේර්ෂොන්ගේ දරුපරපුරට පැවරෙන සේවාව සහ වගකීම්, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ඔවුන්ට භාර දෙන ලෙස ඉටු විය යුතු ය. එබැවින් නුඹ ද ඔවුන්ට ඔවුන්ගේ වගකීම පැවරිය යුතු වේ.</verse>
				<verse number="28">ගේර්ෂොන්ගේ දරුපරපුරට සම්මුඛ මණ්ඩපය පිළිබඳ ව පැවරෙන වගකීම ඉහත දැක්වෙන ඒවා ය. තවද, පූජක ආරොන්ගේ පුත් ඊතාමාර් යටතේ ඔවුන් ඒ වගකීම් ක්‍රියාත්මක කළ යුතු වේ.”</verse>
				<verse number="29">“නුඹ මෙරාරී දරුපරපුර ද ඔවුන්ගේ පවුල්, පිය පෙළපත් අනුව ලියාපදිංචි කළ යුතු ය.</verse>
				<verse number="30">මෙලෙස අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවය කළ හැකි සියල්ලන් සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා ලියාපදිංචි කළ යුතු වේ.</verse>
				<verse number="31">සම්මුඛ මණ්ඩපය පිළිබඳ ව මොවුන්ට පැවරෙන වගකීම් පහත දක්වන ඒවා වනු ඇත. මොවුන් මණ්ඩපයේ ලෑලි ද හරස් ලී ද කණු ද තවු ද</verse>
				<verse number="32">වටේට ඇති මළුවේ කණු ද ඒවායේ තවු ද ඇබ ද ලණු ද සියලු මෙහෙයයන්ට භාවිත කරන බඩු භාණ්ඩ සියල්ල ද උසුලාගෙන යා යුතු ය. තවද, එක් එක්කෙනා උසුලාගෙන යා යුතු බඩු භාණ්ඩ, නම් වශයෙන් වෙන් කොට ඔවුන්ට භාර දිය යුතු වේ.</verse>
				<verse number="33">සම්මුඛ මණ්ඩපයේ බඩු භාණ්ඩ පිළිබඳ මෙරාරීගේ දරුපරපුරට පැවරෙන වගකීම් ඉහත දක්වන ලදී. මේ සියල්ල ඔවුන් ඉටු කළ යුත්තේ පූජක ආරොන්ගේ පුත් ඊතාමාර් යටතේ ය.”</verse>
				<verse number="34">ඉන්පසු මෝසෙස්, ආරොන් සහ ප්‍රජා මූලිකයෝ, කොහාත්ගේ දරුපරපුර ඔවුන්ගේ පවුල් සහ පිය පෙළපත් අනුව ලියාපදිංචි කළහ.</verse>
				<verse number="35">සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා මෙසේ ලියාපදිංචි කරන ලද්දෝ අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවයට බැඳිය යුතු ඇත්තෝ ය.</verse>
				<verse number="36">පවුල් අනුව මොවුන්ගේ මුළු ගණන දෙදාස් හත්සිය පණහක් විය.</verse>
				<verse number="37">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට දුන් අණ පරිදි, ඔහු සහ ආරොන් විසින්, සම්මුඛ මණ්ඩපයේ සේවාව සඳහා කොහාත්ගේ දරුපරපුර ලියාපදිංචි කරන ලදී.</verse>
				<verse number="38">තවද, ඔවුන්ගේ පවුල් සහ පිය පෙළපත් අනුව, ගේර්ෂොන්ගේ දරුපරපුරට අයත්</verse>
				<verse number="39">අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවයට සුදුස්සෝ සම්මුඛ මණ්ඩපය තුළ සේවාව සඳහා ලියාපදිංචි කරන ලදහ.</verse>
				<verse number="40">මේ අයගේ මුළු ගණන දෙදාස් හයසිය තිහක් විය.</verse>
				<verse number="41">මෙලෙස සමිඳාණන් වහන්සේගේ අණ පරිදි මෝසෙස් සහ ආරොන් විසින් ලියාපදිංචි කරන ලද අය මොවුහු වූ හ.</verse>
				<verse number="42">පවුල් හා පිය පෙළපත් අනුව මෙරාරීගේ දරුපරපුරේ අය ද ලියාපදිංචි කරන ලදහ.</verse>
				<verse number="43">අවුරුදු තිහේ සිට පණහ දක්වා, හමුදාවේ සේවයට සුදුසු, සම්මුඛ මණ්ඩපය තුළ සේවය සඳහා</verse>
				<verse number="44">මෙලෙස ලියාපදිංචි කළ අයගේ මුළු ගණන තුන්දාස් දෙසියයක් විය.</verse>
				<verse number="45">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි, ඔහු සහ ආරොන් විසින් සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා මෙරාරීගේ දරුපරපුර මෙසේ ලියාපදිංචි කරන ලදී.</verse>
				<verse number="46">මෙලෙස ලෙවීවරුන් සියලු දෙන ම පවුල් හා පිය පෙළපත් අනුව, මෝසෙස්, ආරොන් සහ ඉශ්රායෙල්හි ප්‍රජා මූලිකයන් විසින් ලියාපදිංචි කරන ලදහ.</verse>
				<verse number="47">අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවයට සුදුසු අයට සම්මුඛ මණ්ඩපය තුළ සේවාවේ වගකීම පැවරිය හැකි ය.</verse>
				<verse number="48">මේ සියල්ලන්ගේ මුළු එකතුව අටදාස් පන්සිය අසූවක් විය.</verse>
				<verse number="49">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි, සේවාව සහ වගකීම ඔවුන්ට පැවරීම පිණිස ඔව්හු ගණන් කරන ලදහ. මෙසේ සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔව්හු ලියාපදිංචි කරන ලදහ.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,</verse>
				<verse number="2">“බෝවෙන සෑම චර්ම රෝගයක් ඇති සෑම කෙනෙකු ම, ධාතු මෝචනය ඇති සෑම කෙනෙකු ම, මෘත ශරීරයක් නිසා කෙලෙසුණ සෑම කෙනෙකු ම කඳවුරින් පිටතට දැමිය යුතු ය කියා ඉශ්රායෙල් ජනයාට අණ කරන්න.</verse>
				<verse number="3">මා වාසය කරන කඳවුර නොකෙලසන පිණිස මෙවැන්නක් ඇති ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂය ම කඳවුරින් පිටතට දැමිය යුතු ය”යි වදාළ සේක.</verse>
				<verse number="4">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඉශ්රායෙල් ජනයා ද එලෙස ඉටු කරමින් එවැන්නන් කඳවුරින් පිටතට නෙරපාදැමූ හ.</verse>
				<verse number="5">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,</verse>
				<verse number="6">“ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්න: ‘සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය කඩ කරන යම් පාපයක්, යම් කිසි ස්ත්‍රියක හෝ පුරුෂයෙකු හෝ කළොත් ඒ තැනැත්තා වරදකරුවෙකු වනු ඇත.</verse>
				<verse number="7">එවිට ඔවුන් කළ පාපය උච්චාරණය කළ යුතු ය. ඉන්පසු මුළු වන්දිය වශයෙන්, කළ අලාභයට තව පහෙන් පංගුවක් එකතු කර යම් කෙනෙකුට විරුද්ධ ව වැරැද්දක් කෙළේ ද එය ඔහුට ගෙවිය යුතු ය.</verse>
				<verse number="8">එහෙත්, වන්දිය ගෙවීම සඳහා ඔහුට නෑයෙක් නැත්නම්, එම වන්දිය පූජකවරයා විසින් ගනු පිණිස සමිඳාණන් වහන්සේට ගෙවිය යුතු වේ. මේ වන්දිය ඔහු උදෙසා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කිරීමට පුදන බැටළු වස්සාට අමතර ව ය.</verse>
				<verse number="9">තවද, ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට පුදන සෑම ශුද්ධ පඬුරක් ම, එය ඔවුන් දෙන පූජකවරයාට අයිති වනු ඇත.</verse>
				<verse number="10">ඇරත් යමෙකු සමිඳාණන් වහන්සේට කැප කරන සෑම දෙයක් ම, යමෙකු පූජකවරයාට දෙන සෑම දෙයක් ම, ඔහුට හිමි වනු ඇතැ’ “යි වදාළ සේක.</verse>
				<verse number="11">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="12">“ඉශ්රායෙල් ජනයා අමතා ඔවුන්ට මෙසේ කියන්න: ‘යම් මිනිසෙකුගේ බිරිඳක පිට වී ගොස්, තම සැමියාට විරුද්ධ ව වැරැද්දක් කරමින්</verse>
				<verse number="13">අන් මිනිසෙකු සමඟ, සැමියා නොදැනුවත්ව ම, රහසින් සයනය කොට, ඈ මෙසේ දූෂණය වූ නමුත් ඈට විරුද්ධ ව සාක්ෂිකරුවෙකු නැතුව ද වරද කරද්දී අසු නොවී ද සිටින්නට පුළුවන.</verse>
				<verse number="14">සැමියා ද ‘ඈ දූෂණය වූවා’ය කියා ඊර්ෂ්‍යා සහගත ව, සැක සිතන්නට ද පුළුවන. ඈ දූෂණය නොවී සිටිය දී පවා ඇගේ සැමියා ඇය ගැන ඊර්ෂ්‍යා සහගත ව, සැක සිතන්නට ද පුළුවන.</verse>
				<verse number="15">මෙවැනි අවස්ථාවක දී, ඇගේ සැමියා තම බිරිඳ පූජකවරයා වෙත ගෙනා යුතු ය. ඈ උදෙසා පඬුරක් වන යව පිටි කිලෝග්‍රෑම් එකක් රැගෙන ආ යුතු ය. එහෙත්, පඬුර පිට තෙල් හෝ තුවරලා හෝ නොදැමිය යුතු ය. එසේ කළ යුත්තේ එය වැරැද්දක් එළිදරව් කරන සිහි කිරීමේ පූජාවක් ද, ඊර්ෂ්‍යා දුරුකිරීමේ ධාන්‍ය පූජාවක් ද වන බැවිනි.</verse>
				<verse number="16">‘පූජකවරයා ඈ ළඟට කැඳවා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටුවිය යුතු ය.</verse>
				<verse number="17">ඉන්පසු ඔහු මැටි බඳුනකට පිරිසිදු වතුර ස්වල්පයක් රැගෙන, සම්මුඛ මණ්ඩපයේ පොළොවේ පස් ස්වල්පයක් එහි දැමිය යුතු ය.</verse>
				<verse number="18">එවිට පූජකවරයා ඈ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටුවා, ඇගේ කෙස් කළඹ ලිහා සැක දුරුකිරීමේ පූජාව වන සිහිකිරීමේ පඬුර ඇගේ අත්වල තැබිය යුතු ය. එහෙත්, සාපය සලසන තිත්ත වතුර ඔහු තමාගේ අතේ ම තබාගත යුතු ය.</verse>
				<verse number="19">ඉන්පසු ඔහු ඈ දිවුරවමින් ඈට මෙසේ කිව යුතු ය: ‘ඔබේ පුරුෂයා යටතේ ඔබ සිටිය දී, අන් මිනිසෙක් ඔබ සමඟ සයනය කොට, ඔබ දූෂණය වීම සඳහා පිට වී නොගියා නම්, සාපය සලසන මේ තිත්ත වතුරෙන් ඔබට නපුරක් නො වේ වා!</verse>
				<verse number="20">එහෙත්, ඔබ ඔබේ පුරුෂයා මෙසේ සිටිය දී දූෂණය වීම සඳහා පිට වී ගියා නම්, ඔබේ සැමියා හැර අන් මිනිසෙක් ඔබ සමඟ සයනය කළොත්,</verse>
				<verse number="21">සමිඳාණන් වහන්සේ ඔබේ රහස් අවයව බෙලහීන වීමට ද බඩ ඉදිමීමට ද සලස්වා ඔබට, ඔබේ සෙනඟ අතර පිළිකුලක් හා සාපයක් කරන සේක් වා!</verse>
				<verse number="22">සාපය ගෙන දෙන මේ වතුර ඔබේ බඩට ඇතුළු වී, බඩ ඉදිමෙන්නටත්, රහස් අවයව බෙලහීන වන්නටත් සලසන සේක් වා! එවිට ස්ත්‍රිය ද: ‘එසේ ම වේ වා, එසේ ම වේ වා!’ කියා පිළිතුරු දිය යුතු ය.</verse>
				<verse number="23">‘පූජකවරයා මේ සාප, පොතක ලියා, ඒවා තිත්ත වතුරෙන් සෝදා දැමිය යුතු ය.</verse>
				<verse number="24">ඉන්පසු සාපය ගෙන දෙන මේ තිත්ත වතුර ඇගේ ශරීරගත වී, වේදනා පමුණුවනු සඳහා, ඔහු එය ඈට බීමට දිය යුතු වේ.</verse>
				<verse number="25">පසුව පූජකවරයා ස්ත්‍රියගේ අතින් සැක දුරු කිරීමේ පූජාව ගෙන, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කොට, පූජාසනය මත එය පුද කළ යුතු ය.</verse>
				<verse number="26">ඔහු සිහිකිරීමේ පඬුරින් අහුරක් ගෙන, පූජාසනය මත එය දවා, ඉන්පසු ස්ත්‍රියට වතුර බීමට සැලසිය යුතු ය.</verse>
				<verse number="27">ඔහු ඈට වතුර බොන්නට සැලැසූ පසු, ඈ දූෂණය වී ඇගේ සැමියාට විරුද්ධ ව වරදක් කර ඇත්නම්, ඒ වතුර ඇගේ ශරීරගත වී, වේදනා පමුණුවමින්, ඇගේ බඩ ඉදිමී, ඇගේ රහස් අවයව බෙලහීන වනු ඇත. ඈ ද ඇගේ සෙනඟ අතර සාපයක් වන්නී ය.</verse>
				<verse number="28">එහෙත්, ඈ දූෂණය නොවී නිර්දෝෂ ව සිටී නම් ඈට නපුරක් නොවනු ඇත, ඈ ද දරුවන් පිළිසිඳ ගන්නී ය.</verse>
				<verse number="29">‘ශංකා පිළිබඳ නීති මෙය වේ. එනම්: යම්කිසි බිරිඳක පිට වී ගොස් අන් මිනිසෙකු සමඟ දූෂණය වූ විට ද</verse>
				<verse number="30">යම්කිසි සැමියෙකු තම බිරිඳ ගැන ශංකා සහගත ව සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඇය සිටුවන විට ද බලපාන නීතිය මෙය වේ. පූජකවරයා ඈ පිළිබඳ ව මේ නීතිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු වේ.</verse>
				<verse number="31">එවිට සැමියා වරදින් නිදහස් වනු ඇත, එහෙත්, ස්ත්‍රිය දඬුවම් ලැබිය යුතු ය.’ “</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්න: ‘යම් පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හෝ විශේෂ බාරයක් වී සමිඳාණන් වහන්සේට කැප වී වෙන් වන පිණිස නාසරීයයෙකුගේ බාරයක් වූ විට</verse>
				<verse number="3">එවැන්නෙකු මිදියුස ද මත්පැන් ද පානය නොකළ යුතු ය. තවද, ඔහු මිදියුසේ කාඩි හෝ මත්පැනක කාඩි හෝ මිදි ගෙඩිවලින් පෙරාගත් මත් වන බීමක් හෝ පානය නොකළ යුතු ය. වියළි මිදි හෝ අමු මිදි ගෙඩි හෝ නොකෑ යුතු ය.</verse>
				<verse number="4">කැප වූ මුළු කාලය තුළ ම ඔහු මිදි වැලෙන් හෝ මිදි ගෙඩියේ මදයෙන් හෝ ලෙල්ලෙන් හෝ සෑදූ කිසිවක් නොකෑ යුතු ය.</verse>
				<verse number="5">‘තවද, සමිඳාණන් වහන්සේට තමන් කැප කරගත් මුළු කාලය තුළ ම, එය අවසාන වෙන තෙක් ම ඔහු තම හිස කෙස් නොකැපිය යුතු ය. ඒ කාලයේ දී ඔහු ශුද්ධ කෙනෙකු වනු ඇත. තම කේශ කලාපය ද වැඩීමට ඉඩ දිය යුතු ය.</verse>
				<verse number="6">මේ කාලය තුළ දී ඔහු කිසි ම කෙනෙකුගේ මළකඳක් සමීපයට නොපැමිණිය යුතු ය.</verse>
				<verse number="7">තම පියා හෝ මව හෝ සහෝදරිය හෝ සහෝදරයා හෝ මියගිය විට පවා, තමා අපවිත්‍ර නොවිය යුතු ය. මන්ද, ඔහු දෙවියන් වහන්සේට කැපවීමේ ලකුණු තම හිස මත දරන බැවිනි.</verse>
				<verse number="8">තමන් කැප වූ මුළු කාලය තුළ ම ඔහු සමිඳාණන් වහන්සේට කැප වූ කෙනෙකි.</verse>
				<verse number="9">‘තමන් ළඟින් සිටින යමෙකු හදිසියෙන් මියගියොත්, ඔහු තමන් කැප කරගත් කේශ කලාපය දූෂණය කරගත්තේ යයි සැලකෙනු ඇත. එවිට ඔහු තමාගේ පවිත්‍ර වීමේ දිනය වන සත් වන දින තම හිස බූගෑ යුතු ය.</verse>
				<verse number="10">අට වන දින ඔහු කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවියන් දෙදෙනෙකු හෝ සම්මුඛ මණ්ඩපයේ දොරකඩට පූජකවරයා වෙත ගෙනා යුතු ය.</verse>
				<verse number="11">පූජකවරයා ඉන් එකෙකු පාප පූජාවක් සඳහා ද, අනිකා දවන යාග පූජාවක් සඳහා ද ඔප්පු කොට, මළකඳ නිසා වූ පාපයට, ඔහු උදෙසා පව් කමාවේ පිළිවෙත ඉටු කර, එදින ම ඔහුගේ කේශ කලාපය ඔහු යළි කැප කළ යුතු ය.</verse>
				<verse number="12">මෙලෙස තමන් කැප කරගත් කාලය සමිඳාණන් වහන්සේට පූජා කළ පසු, ඔහු වන්දි ගෙවීමේ පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති බැටළු පැටවෙකු ගෙනා යුතු ය. එහෙත්, ඔහුගේ කැපවීම දූෂණය වූ බැවින් කලින් කැප වූ කාලය වලංගු නොවනු ඇත.</verse>
				<verse number="13">‘තමන් කැප වූ කාලය අවසාන වූ පසු, නාසරීයයෙකු සම්බන්ධ පහත දැක්වෙන නීති වලංගු වේ. ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරකඩට පැමිණ</verse>
				<verse number="14">නොකැළැල් අවුරුද්දක් වයසැති, පිරිමි බැටළු පැටවෙකු දවන යාග පූජාවක් සඳහා ද, කැළැල් නැති අවුරුද්දක් වයසැති බැටළු වැස්සියක පාප පූජාවක් සඳහා ද, නොකැළැල් බැටළු වස්සෙකු සහභාගිකමේ පූජාවක් සඳහා ද පඬුරු කොට ඔප්පු කළ යුතු ය.</verse>
				<verse number="15">පසුව නුමුහුන් රොටි කූඩයක් ද, තෙල් මිශ්‍ර කොට සිහින් පිටිවලින් සෑදූ රොටි ද, තෙල් ගාන ලද නුමුහුන් තුනී රොටි පෙති ද රොටි ධාන්‍ය පූජාවක් සහ පානීය පූජාවක් ද පිදිය යුතු ය.</verse>
				<verse number="16">‘පූජකවරයා සමිඳාණන් වහන්සේ ඉදිරියට ඒවා ගෙනවුත් ඔහුගේ පාප පූජාව සහ දවන යාග පූජාව පුදනු ඇත.</verse>
				<verse number="17">ඉන්පසු ඔහු, සහභාගිකමේ පූජාවක් වශයෙන් බැටළු වස්සා සහ නුමුහුන් රොටි කූඩය ද ඔප්පු කළ යුතු ය. තවද, තම ධාන්‍ය පූජාව ද පානීය පූජාව ද ඔප්පු කළ යුතු ය.</verse>
				<verse number="18">ඉන්පසු නාසරීයයා සම්මුඛ මණ්ඩපයේ දොරකඩ තම කැපවීමේ සංකේතය වන තමාගේ හිස බූගා, හිස කෙස් රැගෙන, සහභාගිකමේ පූජාව යට තිබෙන ගින්නට දැමිය යුතු ය.</verse>
				<verse number="19">‘පූජකවරයා බැටළු වස්සාගේ තම්බන ලද ගාතයත්, රොටි කූඩයෙන් එක නුමුහුන් රොටියකුත්, එක නුමුහුන් තුනී රොටි පෙත්තකුත් රැගෙන, නාසරීයයා තම හිස බූගාගත් පසු ඔහුගේ අත්හි තැබිය යුතු ය.</verse>
				<verse number="20">මෙසේ පූජකවරයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඒවායින් පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කරනු ඇත. පිළිගැන්වූ ළැපැත්තට හා පිදූ ගාතයට අමතර ව, මෙය පූජකවරයාට හිමි වන ශුද්ධ පඬුරකි. මින්පසු මිදියුස පානය කරන්නට නාසරීයයාට අවසර ඇත.</verse>
				<verse number="21">බාරයක් වූ නාසරීයයන් පිළිබඳ වලංගු නීතිය මෙය වේ. කැප වූ කාලය සඳහා සමිඳාණන් වහන්සේට පිදිය යුතු පඬුර හැර, ඊට අමතර වෙන යමක් ඔහු බාර විණි නම්, ඔහු කැප වූ කාල සීමාවෙන් පසු ඒ බාරය අකුරට ම ඉෂ්ට කළ යුතු වේ.’</verse>
				<verse number="22">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="23">“ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් අමතා, ‘නුඹලා ඉශ්රායෙල් ජනයාට ආශීර්වාද කරන විට මෙලෙස කිව යුතු වේ:</verse>
				<verse number="24">‘සමිඳාණෝ ඔබට ආශීර්වාද කොට ඔබ ආරක්ෂා කරන සේක් වා!</verse>
				<verse number="25">‘සමිඳාණෝ ඔබ දෙස දයාවෙන් බලා ඔබට කරුණා කරන සේක් වා!</verse>
				<verse number="26">‘සමිඳාණෝ සිය නෙත් ඔබ කෙරෙහි යොමා ඔබට සාමදානය දෙන සේක් වා!’</verse>
				<verse number="27">‘ඔවුන් ඉශ්රායෙල් ජනයා වෙනුවෙන් මාගේ නාමය කියා අයැදිනවා ඇත. එවිට මම ද ඔවුනට ආසිරි වස්වමි.’ “</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">මෝසෙස් මණ්ඩපය සම්පූර්ණයෙන් ම ඉදි කොට අවසාන කළ දවසේ, එය ආලේප කොට කැප කෙළේ ය. එහි බඩු භාණ්ඩ වන පූජාසනය ද බඳුන් සියල්ල ද ආලේප කොට කැප කෙළේ ය.</verse>
				<verse number="2">එවිට පිය පෙළපත්හි ප්‍රධානීන් හා ඉශ්රායෙල් ජනයා අතර නායකයන් වන, ලියාපදිංචි කිරීම මෙහෙයවූ ගෝත්‍ර මූලිකයෝ</verse>
				<verse number="3">සමිඳාණන් වහන්සේ වෙත තමන්ගේ පඬුරු ගෙනාහ. ඒ පඬුරු නම්, මූලිකයන් දෙදෙනෙකුට එක ගැලක් බැගින් ද, එක එක මූලිකයාට එක ගොනෙකු බැගින් ද අඹරාව ඇති ගැල් රථ හයක් සහ ගොනුන් දොළොස්දෙනෙක් වෙති. ඔව්හු මේවා මණ්ඩපය ඉදිරියට ගෙනාහ.</verse>
				<verse number="4">එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,</verse>
				<verse number="5">“සම්මුඛ මණ්ඩපයේ සේවාව සඳහා ඔවුන්ගෙන් මේවා භාරගන්න. තවද, ලෙවීවරුන් අතර එක් එක්කෙනාට තමන් කළ යුතු සේවාව අනුව ඔවුන්ට මේවා දිය යුතු ය”යි වදාළ සේක.</verse>
				<verse number="6">එවිට මෝසෙස් ගැල් හා ගොනුන් භාරගෙන ලෙවීවරුන්ට ඒවා දුන්නේ ය.</verse>
				<verse number="7">ගේර්ෂොන්ගේ දරුපරපුරට ඔවුන්ගේ සේවාව අනුව ගැල් දෙකක් සහ ගොනුන් හතරදෙනෙකු ද</verse>
				<verse number="8">පූජක ආරොන්ගේ පුත්‍ර ඊතාමාර්ගේ පාලනය යටතේ, මෙරාරීගේ දරුපරපුරට ඔවුන්ගේ සේවාව අනුව ගැල් හතරක් සහ ගොනුන් අටදෙනෙකු ද දුනි.</verse>
				<verse number="9">එහෙත්, ශුද්ධස්ථානයේ සේවාවන්ට අදාළ ව කොහාත්ගේ දරුපරපුරට පැවරී තිබුණේ බඩු භාණ්ඩ කර පිට උසුලාගෙන යාම බැවින් ඔවුන්ට ඔහු කිසිවක් නුදුන්නේ ය.</verse>
				<verse number="10">පූජාසනය ආලේප කොට එය කැප කරන දවසේ දී ප්‍රජා මූලිකයෝ තම තමන්ගේ පඬුරු පූජාසනය වෙත ඔප්පු කළහ.</verse>
				<verse number="11">එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “සෑම ප්‍රජා මූලිකයෙකු ම තමාට නියම දවසේ දී තම පඬුරු පූජාසනය මත කැප කිරීම සඳහා ගෙනා යුතු ය”යි වදාළ සේක.</verse>
				<verse number="12">පළමු වන දවසේ දී තම පඬුර පූජා කෙළේ ජුදාගේ ගෝත්‍රයේ අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් ය.</verse>
				<verse number="13">ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි.</verse>
				<verse number="14">සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද</verse>
				<verse number="15">දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද,</verse>
				<verse number="16">පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද,</verse>
				<verse number="17">සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියන් පස්දෙනෙක් ද වූ හ. අම්මිනාදාබ්ගේ පුත් නාෂොන්ගේ පඬුරු මේවා විය.</verse>
				<verse number="18">දෙ වන දවසේ දී ශූවර්ගේ පුත් නෙතනේල් වන ඉස්සාකර්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.</verse>
				<verse number="19">ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම, ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි.</verse>
				<verse number="20">සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද,</verse>
				<verse number="21">දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද,</verse>
				<verse number="22">පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද,</verse>
				<verse number="23">සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. ශූවර්ගේ පුත් නෙතනේල්ගේ පඬුරු මේවා විය.</verse>
				<verse number="24">තුන් වන දවසේ දී හේලෝන්ගේ පුත් එලියාබ් වන සාබුලොන්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.</verse>
				<verse number="25">ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම, ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි.</verse>
				<verse number="26">සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද,</verse>
				<verse number="27">දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක් සහ එක බැටළු වස්සෙක් ද, අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද</verse>
				<verse number="28">පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද,</verse>
				<verse number="29">සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. හේලෝන්ගේ පුත් එලියාබ්ගේ පඬුරු මේවා විය.</verse>
				<verse number="30">සතර වන දවසේ දී ෂෙදෙවුර්ගේ පුත් එලිශූර් වන රූබන්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.</verse>
				<verse number="31">ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි.</verse>
				<verse number="32">සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක් රන් පාත්‍රයක් ද,</verse>
				<verse number="33">දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක් සහ එක බැටළු වස්සෙක් ද, අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද,</verse>
				<verse number="34">පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද,</verse>
				<verse number="35">සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක් සහ එළුවන් පස්දෙනෙක් ද, අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. ෂොදෙවුර්ගේ පුත් එලිශූර්ගේ පඬුරු මේවා විය.</verse>
				<verse number="36">පස් වන දවසේ දී ශුරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල් වන සිමියොන්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.</verse>
				<verse number="37">ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි.</verse>
				<verse number="38">සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද,</verse>
				<verse number="39">දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක් ද, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද,</verse>
				<verse number="40">පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද,</verse>
				<verse number="41">සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක් ද, බැටළු වස්සන් පස්දෙනෙක් ද, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. ශුරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල්ගේ පඬුරු මේවා විය.</verse>
				<verse number="42">හය වන දවසේ දී දෙවුයෙල්ගේ පුත් එලියාසාප් වන ගාද්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.</verse>
				<verse number="43">ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි.</verse>
				<verse number="44">සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද,</verse>
				<verse number="45">දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද,</verse>
				<verse number="46">පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද,</verse>
				<verse number="47">සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. දෙවුයෙල්ගේ පුත් එලියාසාප්ගේ පඬුරු මේවා විය.</verse>
				<verse number="48">සත් වන දවසේ දී අම්මිහුද්ගේ පුත් එලිෂාමා වන එප්‍රායිම්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.</verse>
				<verse number="49">ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි.</verse>
				<verse number="50">සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද,</verse>
				<verse number="51">දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද,</verse>
				<verse number="52">පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද,</verse>
				<verse number="53">සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. අම්මිහුද්ගේ පුත් එලිෂාමාගේ පඬුරු මේවා විය.</verse>
				<verse number="54">අට වන දවසේ දී පෙදාශූර්ගේ පුත් ගමාලියෙල් වන මනස්සේගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.</verse>
				<verse number="55">ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර හොඳ පිටිවලින් පිරී තිබිණි.</verse>
				<verse number="56">සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද,</verse>
				<verse number="57">දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද,</verse>
				<verse number="58">පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද,</verse>
				<verse number="59">සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. පෙදාශූර්ගේ පුත් ගමාලියෙල්ගේ පඬුරු මේවා විය.</verse>
				<verse number="60">නව වන දවසේ දී ගිදෙයොනිගේ පුත් අබිදාන් වන බෙන්ජමින්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.</verse>
				<verse number="61">ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි.</verse>
				<verse number="62">සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද,</verse>
				<verse number="63">දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද,</verse>
				<verse number="64">පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද,</verse>
				<verse number="65">සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. ගිදෙයොනිගේ පුත් අබිදාන්ගේ පඬුරු මේවා විය.</verse>
				<verse number="66">දස වන දවසේ දී අම්මිෂද්දයිගේ පුත් අහියේසර් වන දාන්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.</verse>
				<verse number="67">ඔහුගේ පඬුරු නම් කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි.</verse>
				<verse number="68">සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද,</verse>
				<verse number="69">දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද,</verse>
				<verse number="70">පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද,</verse>
				<verse number="71">සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. අම්මිෂද්දයිගේ පුත් අහියේසර්ගේ පඬුරු මේවා විය.</verse>
				<verse number="72">එකොළොස් වන දවසේ දී ඔක්‍රාන්ගේ පුත් පගියෙල් වන ආෂෙර්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.</verse>
				<verse number="73">ඔහුගේ පඬුරු නම් කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි.</verse>
				<verse number="74">සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද,</verse>
				<verse number="75">දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද,</verse>
				<verse number="76">පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද,</verse>
				<verse number="77">සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක් එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. ඔක්‍රාන්ගේ පුත් පගියෙල්ගේ පඬුරු මේවා විය.</verse>
				<verse number="78">දොළොස් වන දවසේ දී ඒනාන්ගේ පුත් අහිරා වන නප්තලීගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.</verse>
				<verse number="79">ඔහුගේ පඬුරු නම් කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි.</verse>
				<verse number="80">සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් එකසිය දහයක් බර එක රන් පාත්‍රයක් ද,</verse>
				<verse number="81">දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක් ද,</verse>
				<verse number="82">පාප පූජාවක් සඳහා එක එළුවෙක් ද,</verse>
				<verse number="83">සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. ඒනාන්ගේ පුත් අහිරාගේ පඬුරු මේවා විය.</verse>
				<verse number="84">පූජාසනය ආලේප කොට කැප කරනු ලැබූ දිනයෙහි ඉශ්රායෙල්හි මූලිකයන් විසින් ගෙනෙන ලද බඩු භාණ්ඩ මේවා ය. එනම්, රිදී බඳුන් දොළසකි, රිදී තැටි දොළසකි, රන් පාත්‍ර දොළසකි.</verse>
				<verse number="85">එක රිදී බඳුනක බර කිලෝග්‍රෑම් එකහමාරක් ද, එක රිදී තැටියක බර ග්‍රෑම් අටසියයක් ද වූයෙන් රිදී භාණ්ඩ සියල්ලේ බර කිලෝග්‍රෑම් විසිහතයි දශම හයක් විය.</verse>
				<verse number="86">තවද, ශුද්ධස්ථානයේ මිල අනුව, එක එකේ බර ග්‍රෑම් එකසිය දහයක් වූ රන් පාත්‍ර දොළසකි. මේ සියල්ලේ බර රිදී කාසි කිලෝග්‍රෑම් එකයි දශම තුනයි දෙකක් විය.</verse>
				<verse number="87">දවන යාග පූජාව සඳහා වස්සෝ දොළසකි, බැටළු වස්සෝ දොළසකි, අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දොළසකි. මේවා සමඟ ධාන්‍ය පූජා ද පාප පූජා සඳහා එළුවෝ දොළසක් ද වූ හ.</verse>
				<verse number="88">සහභාගිකමේ පූජාව සඳහා ගොන් වස්සෝ විසිහතරකි, බැටළු වස්සෝ හැටකි, එළුවෝ හැටකි, අවුරුද්දක් වයසැති බැටළු පැටවු හැටකි. පූජාසනය ආලේප කොට කැප කළ දිනයෙහි පුදන ලද්දේ ඉහත දැක්වූ ඒවා ය.</verse>
				<verse number="89">මෝසෙස් සමිඳාණන් වහන්සේ සමඟ කතා කිරීමට සම්මුඛ මණ්ඩපයට ඇතුළු වූ සැම විට ම, එහි ගිවිසුම් කරඬුව මත කෙරුබ්වරුන් දෙදෙනා මැද තිබූ කරුණාසනයෙන් නික්මුණු කට හඬක් ඔහුට ඇසිණි. ඔහු උන් වහන්සේ සමඟ කතා කෙළේ ය.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,</verse>
				<verse number="2">“ආරොන් අමතා ඔහුට මෙසේ කියන්න: ‘නුඹ පහන් දල්වන විට පහන් හතේ එළිය පහන් රුක ඉස්සරහට වැටිය යුතු ය’ ”යි වදාළ සේක.</verse>
				<verse number="3">ආරොන් ද එසේ කරමින්, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි පහන්වල එළිය, පහන් රුක ඉස්සරහට වැටෙන සේ ඒවා දැල්විය.</verse>
				<verse number="4">තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට පෙන්නූ සැලැස්ම අනුව, ඔහු විසින් එය සාදා තිබිණි. එය තැළූ රනින් නිම කළ එකක් විය. එය මුදුන සිට අඩිය දක්වා තැළූ රනින් සාදා තිබිණි.</verse>
				<verse number="5">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="6">“ඉශ්රායෙල් ජනයා අතරෙන් ලෙවීවරුන් රැගෙන ඔවුන් පවිත්‍ර කරන්න.</verse>
				<verse number="7">ඔවුන් පවිත්‍ර කිරීමේ වත්පිළිවෙත් මෙලෙස කළ යුතු ය. ඔවුන් මත පවිත්‍ර කිරීමේ වතුර ඉසින්න. ඉන්පසු ඔවුන් තම මුළු ශරීරය බූගාගෙන, තමන්ගේ වස්ත්‍ර සෝදා ගත යුතු ය. එවිට ඔවුන් පවිත්‍ර වනු ඇත.</verse>
				<verse number="8">ඉන්පසු ඔවුන් ගොන් වස්සෙකු ද, ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි ද ගත යුතු ය. නුඹ පාප පූජාවක් සඳහා තවත් ගොන් වස්සෙකු ගත යුතු ය.</verse>
				<verse number="9">මෙසේ ඔවුන් ගත් පසු, සම්මුඛ මණ්ඩපය ඉදිරිපිටට නුඹ ඔවුන් කැඳවිය යුතු ය. තවද, නුඹ මුළු ඉශ්රායෙල් ජනතාව ම එක්වන සේ කැඳවිය යුතු ය.</verse>
				<verse number="10">මෙසේ නුඹ ලෙවීවරුන් සමිඳාණන් වහන්සේ ඉදිරියට ගෙනා පසු ඉශ්රායෙල් ජනතාව ඔවුන් මත තම අත් තැබිය යුතු වේ.</verse>
				<verse number="11">ඉන්පසු ආරොන් ඉශ්රායෙල් ජනයාගේ විශේෂ පඬුරක් මෙන් සමිඳාණන් වහන්සේගේ සේවය ඉටු කරන පිණිස, ලෙවීවරුන් සමිඳාණන් වහන්සේට කැප කළ යුතු ය.</verse>
				<verse number="12">එවිට ලෙවීවරුන් ගොන් වස්සන්ගේ හිස් පිට තමන්ගේ අත් තැබිය යුතු ය. ලෙවීවරුන්ගේ පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කරන පිණිස, නුඹ එක ගොන් වස්සෙකු පාප පූජාවක් සඳහා ද, අනිකා දවන යාග පූජාවක් සඳහා ද සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය.”</verse>
				<verse number="13">“නුඹ ලෙවීවරුන් විශේෂ පඬුරක් මෙන් සමිඳාණන් වහන්සේට කැප කළ පසු ඔවුන් පිළිබඳ වගකීම ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට පැවරිය යුතු ය.</verse>
				<verse number="14">මෙසේ නුඹ ඉශ්රායෙල් ජනයා අතරෙන් ලෙවීවරුන් වෙන් කළ යුතු ය. ඔවුන් මගේ ම වනු ඇත.</verse>
				<verse number="15">නුඹ ඔවුන් පවිත්‍ර කොට විශේෂ පඬුරක් මෙන් කැප කළ පසු, සම්මුඛ මණ්ඩපයේ සේවාව සඳහා ඔවුන්ට එහි ඇතුළු විය හැකි ය.</verse>
				<verse number="16">මුළු ඉශ්රායෙල් ජනයා අතර උපදින කුලුඳුලන් වෙනුවට මම මට ම ඔවුන් තෝරාගතිමි. ඉශ්රායෙල් ජනයා අතරෙන් ඔව්හු මට මුළුමනින් ම කැප කරන ලද්දෝ ය.</verse>
				<verse number="17">මිසර දේශයෙහි සියලු කුලුඳුලන් මරණයට පත් කළ දිනයෙහි ඉශ්රායෙල් ජනයා අතර සියලු කුලුඳුලන් මිනිසෙක් හෝ සතෙක් හෝ වේ වා, මම මට ම කැප කොටගතිමි.</verse>
				<verse number="18">මෙලෙස ඉශ්රායෙල් ජනයා අතර කුලුඳුලන් සියලු දෙනා වෙනුවට මම ලෙවීවරුන් තෝරාගතිමි.</verse>
				<verse number="19">ඉශ්රායෙල් ජනයා අතරෙන් තෝරාගත් ලෙවීවරුන් විශේෂ දීමනාවක් මෙන් මම ආරොන්ට සහ ඔහුගේ පුතුන් හට දුනිමි. ඔවුන් ඉශ්රායෙල් ජනයා උදෙසා පව් කමාවේ පිළිවෙත ඉටු කරමින්, සම්මුඛ මණ්ඩපය තුළ ඔවුන් උදෙසා සේවාව ඉටු කළ යුතු ය. එවිට ඉශ්රායෙල් ජනයා ශුද්ධස්ථානයට සමීප වන විට ඔවුන්ට විපත්තියක් නොවනු ඇත.”</verse>
				<verse number="20">මෙලෙස ලෙවීවරුන් සම්බන්ධ ව සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල ම, ඔහු ද, ආරොන් සහ මුළු ඉශ්රායෙල් ජනතාව ද ඔවුන් වෙත ඉටු කළහ.</verse>
				<verse number="21">ලෙවීවරු ද පවිත්‍ර වී, තම වස්ත්‍ර සෝදාගත්හ. ආරොන් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් විශේෂ දීමනාවක් මෙන් පිළිගැන්විය; ලෙවීවරුන් සම්බන්ධ පවිත්‍රවීමේ වත්පිළිවෙත් ද ඉටු කෙළේ ය.</verse>
				<verse number="22">ඉන්පසු ලෙවීවරු, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් යටතේ සම්මුඛ මණ්ඩපය තුළ සේවාවන් ඉටු කිරීමට සුදුස්සෝ වූ හ. මෙසේ සමිඳාණන් වහන්සේ ලෙවීවරුන් ගැන මෝසෙස්ට අණ කළ ලෙස ඔව්හු ලෙවීවරුන්ට කළෝ ය.</verse>
				<verse number="23">සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා,</verse>
				<verse number="24">“පහත දක්වන දේ ද ලෙවීවරුන් සම්බන්ධ ය. අවුරුදු විසි පහේ සිට ඊට වඩා වයසැති අය සම්මුඛ මණ්ඩපය තුළ සේවාව ඉටු කළ යුතු ය.</verse>
				<verse number="25">වයස අවුරුදු පණහක් වූ විට ඔවුන් එම සේවයෙන් අහක් වී, ඉන් විශ්‍රාම ගත යුතු ය.</verse>
				<verse number="26">එහෙත්, ඔවුන්ට සම්මුඛ මණ්ඩපයේ සේවාවෙහි නියුක්ත අනිකුත් ලෙවීවරුන්ට සහාය විය හැකි ය. එහෙත්, ඔවුන් කිසි සේවාවක් නම් නොකළ යුතු ය. ලෙවීවරුන්ගේ වගකීම්වලට අදාළ ව නුඹ ක්‍රියා කළ යුත්තේ ඉහත දැක්වූ අන්දමට ය”යි වදාළ සේක.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">ඉශ්රායෙල් ජනයා මිසරයෙන් නික්ම පැමිණි දෙ වන අවුරුද්දේ පළමු වන මාසයේ දී, සමිඳාණන් වහන්සේ සීනයි පාළුකරයේ දී මෝසෙස්ට කතා කොට,</verse>
				<verse number="2">“ඉශ්රායෙල් ජනයා පාස්කු මංගල්‍යය නියමිත කාලයේ දී පැවැත්විය යුතු ය.</verse>
				<verse number="3">“මේ මාසයේ දහහතර වන දින සවස ඔවුන් එය නියමිත වේලාවට ඊට සම්බන්ධ සියලු ම නීති නියෝග අනුව සිදු කළ යුතු ය”යි වදාළ සේක.</verse>
				<verse number="4">එවිට මෝසෙස් ඉශ්රායෙල් ජනයා අමතමින්, “පාස්කු මංගල්‍යය පැවැත්විය යුතු ය”යි කී ය.</verse>
				<verse number="5">ඔව්හු සීනයි පාළුකරයේ දී, පළමු වන මාසයේ දහහතර වන දින සවස පාස්කු මංගල්‍යය පැවැත් වූ හ. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල ලෙස ඉශ්රායෙල්වරු කළෝ ය.</verse>
				<verse number="6">මෘත ශරීරයක් ස්පර්ශ කිරීම නිසා අපවිත්‍ර වූ මිනිසුන් සමහරෙක් එහි සිටියෝ ය. ඔවුන්ට එදින පාස්කුව පැවැත්වීමට නොහැකි වූ බැවින්, ඔව්හු එදින ම මෝසෙස් හා ආරොන් වෙතට පැමිණ</verse>
				<verse number="7">ඔවුන්ට කතා කොට, “මෘත ශරීරයක් ස්පර්ශ කිරීම නිසා අපි අපවිත්‍ර වීමු. එබැවින් සෙසු ඉශ්රායෙල් ජනයා සමඟ නියමිත දිනයේ සමිඳාණන් වහන්සේට පඬුරු පූජා කිරීම අපට තහනම් කර ඇත්තේ මන් දැ”යි ඇසූ හ.</verse>
				<verse number="8">මෝසෙස් ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ සම්බන්ධ ව සමිඳාණන් වහන්සේ කුමක් අණ කරන සේක් දැ යි මා අසාගෙන එන තෙක් ඔබ මෙහි සිටින්නැ”යි කී ය.</verse>
				<verse number="9">එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා මෙසේ වදාළ සේක:</verse>
				<verse number="10">“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙය දන්වන්න: ‘නුඹලාගෙන් හෝ නුඹලාගේ දරුපරපුරෙන් හෝ යමෙකු මෘත ශරීරයක් ස්පර්ශ කිරීම නිසා අපවිත්‍ර වී සිටියත්, ඈත දුර ගමනක යෙදී සිටියත්, සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පාස්කුව පැවැත්විය යුතු ය.</verse>
				<verse number="11">දෙ වන මාසයේ දහහතර වන දින සවස එය පවත්වා නුමුහුන් රොටි හා තිත්ත පලා ද අනුභව කළ යුතු ය.</verse>
				<verse number="12">එයින් කිසිවක් උදය දක්වා නොතිබිය යුතු ය. පාස්කු බැටළුවාගේ ඇටයක් පවා නොකැඩිය යුතු ය. තවද, පාස්කුව පිළිබඳ සියලු නියෝග අනුව එය පැවැත්විය යුතු ය.</verse>
				<verse number="13">එහෙත්, පවිත්‍ර කෙනෙක් හෝ දුර ගමනක් නොගිය යම් මිනිසෙක් හෝ පාස්කුව නොපවත්වන්නේ නම්, ඔහු නියම කාලයේ දී සමිඳාණන් වහන්සේට තම පඬුර නොගෙනා බැවින්, එවැන්නකු සිය සෙනඟ අතරෙන් නෙරපාදමනු ලැබිය යුතු ය. ඔහු තම පාපය ගැන ද වගකිව යුතු වේ.</verse>
				<verse number="14">තවද, නුඹලා සමඟ කලකට වසන විදේශිකයෙක් සමිඳාණන් වහන්සේගේ ගෞරවයට පාස්කුව පැවැත්වීමට කැමැති නම්, ඔහු ද පාස්කුව පිළිබඳ නියෝග පිළිපදිමින්, එහි සම්ප්‍රදායයන් අනුව එය පැවැත්විය යුතු ය. විදේශිකයෙකුට වේ වා ස්වදේශිකයෙකුට වේ වා වලංගු වනුයේ එක ම නියෝගය වේ.’ “</verse>
				<verse number="15">මණ්ඩපය ඉදි කළ දවසේ දී, වලාකුළක් විත් සම්මුඛ මණ්ඩපය වසා ගත්තේ ය. සවස පටන් උදය දක්වා ගින්න වැනි පෙනුමක් එහි තිබිණි.</verse>
				<verse number="16">නිතර ම එලෙස විය. දවල් කාලයේ දී මණ්ඩපය වලාකුළකින් වැසිණි. රාත්‍රි කාලයේ දී එහි ගින්න වැනි පෙනුමක් තිබිණි.</verse>
				<verse number="17">මණ්ඩපයෙන් වලාකුළ ඉවත් කරනු ලැබූ සැම විට ම ඉශ්රායෙල් ජනයා ද යන්නට පිටත් වූ හ. වලාකුළ යළි පහළ වූයේ යම් තැනක ද එතැන ඉශ්රායෙල් ජනයා තම තමන්ගේ කූඩාරම් ගැසූ හ.</verse>
				<verse number="18">මෙලෙස ඔව්හු සමිඳාණන් වහන්සේගේ අණ පරිදි යන්නට පිටත් වූ හ; සමිඳාණන් වහන්සේගේ අණ පරිදි කූඩාරම් ගැසූ හ. වලාකුළ සම්මුඛ මණ්ඩපය වසා සිටි මුළු කාලය තුළ ම ඔව්හු තම තමන්ගේ කූඩාරම්වල පදිංචි වූ හ.</verse>
				<verse number="19">බොහෝ දවසක් වලාකුළ මණ්ඩපය වසාගෙන සිටි විට ද ඔව්හු සමිඳාණන් වහන්සේගේ අණට කීකරු ව ඉදිරියට ගමන් නොකළහ.</verse>
				<verse number="20">මෙලෙස වලාකුළ මණ්ඩපය මත දින ස්වල්පයක් තිබූ විට සමිඳාණන් වහන්සේගේ අණ පරිදි ඔව්හු තමන්ගේ කූඩාරම්වල පදිංචි වූ හ. සමිඳාණන් වහන්සේගේ අණ පරිදි ඔව්හු යන්නට ද පිටත් වූ හ.</verse>
				<verse number="21">සමහර විට වලාකුළ සවස සිට උදය දක්වා එහි තිබී, උදය කාලයේ දී ඉවත් කරනු ලැබී නම් ඔව්හු යන්නට වූ හ. දවල් කාලයේ හෝ රාත්‍රි කාලයේ හෝ වේ වා, වලාකුළ ඉවත් කරනු ලැබූ විට ඔව්හු යන්නට පිටත් වූ හ.</verse>
				<verse number="22">දවස් දෙකක් හෝ මාසයක් හෝ අවුරුද්දක් හෝ වලාකුළ මණ්ඩපය මත රැඳී තිබුණේ නම්, ඉශ්රායෙල් ජනයා පිටත් ව නොගොස්, තමන්ගේ කූඩාරම්වල පදිංචි වූ හ. එය ඉවත් කරනු ලැබූ විට ඔව්හු යන්නට පිටත් වූ හ;</verse>
				<verse number="23">සමිඳාණන් වහන්සේගේ අණ පරිදි ඔව්හු කූඩාරම්වල පදිංචි වූ හ. එලෙස ම ඔව්හු යන්නට ද පිටත් වූ හ. උන් වහන්සේ මෝසෙස් මඟින් අණ කළ පරිදි ඔව්හු උන් වහන්සේගේ නියමයන් ඉටු කළහ.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“තැළූ රිදීයෙන් හොරණෑ දෙකක් සාදන්න. මුළු ජනතාව කැඳවීම සඳහාත්, කූඩාරම් ගැලවීම සඳහාත් ඒවා භාවිතා කළ යුතු ය.</verse>
				<verse number="3">ඒවා පිඹින කල මුළු ඉශ්රායෙල් ජනතාව ම සම්මුඛ මණ්ඩපයේ දොරකඩ නුඹ වෙතට රැස්විය යුතු ය.</verse>
				<verse number="4">එහෙත්, එක හොරණෑවක් පමණක් පිඹින කල ඉශ්රායෙල් ගෝත්‍රයන්හි මූලිකයන් වන ප්‍රධානීන් පමණක් ඔබ වෙතට රැස්විය යුතු ය.</verse>
				<verse number="5">හොරණෑව රණ හඬ නැඟුව විට පූර්ව දිශාවේ පිහිටි කූඩාරම්වල අය පිටත් විය යුතු ය.</verse>
				<verse number="6">හොරණෑව දෙ වන වරටත් රණ හඬ නැඟුව විට දක්ෂිණ දිශාවේ කූඩාරම්වල අය පිටත් විය යුතු ය. මෙලෙස පිටත් වී යාම රණ හඬ අනුව විය යුතු වේ.</verse>
				<verse number="7">එහෙත්, මුළු ජනතාව එක්රැස් කිරීමට නම්, රණ හඬ නොනඟා හොරණෑව පිඹිය යුතු ය.</verse>
				<verse number="8">හොරණෑ පිඹිය යුත්තෝ ආරොන්ගේ පුත්‍රයන් වන පූජකවරු ය. පහත දක්වන මේ නීතිය නුඹලාගේ පෙළපත් තුළ සදහට ම වලංගු විය යුතු වේ.</verse>
				<verse number="9">නුඹලාගේ දේශයෙහි, නුඹලාට පීඩා කරන සතුරාට විරුද්ධ ව නුඹලා සටන් කරන විට රණ හඬ නඟින ලෙස හොරණෑ පිඹිය යුතු වේ. නුඹලාගේ දෙවියන් වන සමිඳාණන් වහන්සේ එවිට නුඹලා සිහිපත් කොට සතුරාගෙන් නුඹලා මුදාගනු ලබන්නහු ය.</verse>
				<verse number="10">ප්‍රීතිදායක අවස්ථාවල දී, ප්‍රසිද්ධ මංගල්‍යවල දී හා පෝය දින සිදුකරන උත්සවවල දී, දවන යාග පූජා සහ සහභාගිකමේ පූජා පුදන විට හොරණෑ පිඹිය යුතු වේ. එය මඟින් නුඹලාගේ දෙවියන් වහන්සේ නුඹලාට සිහිපත් වනු ඇත. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.”</verse>
				<verse number="11">දෙ වන අවුරුද්දේ, දෙ වන මාසයේ විසි වන දින දී, සම්මුඛ මණ්ඩපයට ඉහළින් වලාකුළ ඉවතට ගන්නා ලදී.</verse>
				<verse number="12">එවිට ඉශ්රායෙල් ජනයා සීනයි පාළුකරයෙන් නික්ම යන්නට පිටත් වූ හ. වලාකුළ පාරාන් නම් පාළුකරයේ රැඳී නැවතිණි.</verse>
				<verse number="13">එවිට මෝසෙස් මඟින් සමිඳාණන් වහන්සේ දුන් අණ පරිදි ඔව්හු ඉදිරියට ගමන් ගත්හ.</verse>
				<verse number="14">පළමුකොට ජුදාගේ දරුපරපුර පදිංචි වූ කඳවුරේ ධජය යටතේ සිටි සේනාංක පිළිවෙළට ගමන් ගත්හ. ජුදාගේ සේනාංකයේ සෙන්පතියා අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් විය.</verse>
				<verse number="15">ඉස්සාකර්ගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා ශූවර්ගේ පුත් නෙතනේල් විය.</verse>
				<verse number="16">සාබුලොන්ගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා හේලොන්ගේ පුත් එලියාබ් විය.</verse>
				<verse number="17">එවිට මණ්ඩපය බාන ලදින්, ගේර්ෂොන්ගේ හා මෙරාරීගේ දරුපරපුර එය උසුලාගෙන පිටත් ව ගියහ.</verse>
				<verse number="18">ඉන්පසු රූබන්ගේ කඳවුරේ ධජය යටතේ සිටි සේනාංක පිළිවෙළට ගමන් ගත්හ. රූබන්ගේ සේනාංකයේ සෙන්පතියා ෂෙදෙවුර්ගේ පුත් එලිශූර් විය.</verse>
				<verse number="19">සිමියොන්ගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා ශුරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල් විය.</verse>
				<verse number="20">ගාද්ගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා දෙවුයෙල්ගේ පුත් එලියාසාප් විය.</verse>
				<verse number="21">එවිට කොහාත්ගේ දරුපරපුර ශුද්ධස්ථානයේ පූජා භාණ්ඩ උසුලාගෙන නික්ම ගියහ. ඊළඟ කඳවුරට ඔවුන් පැමිණෙන විට මණ්ඩපය යළි ඉදි කොට තිබිණි.</verse>
				<verse number="22">ඉන්පසු එප්‍රායිම්ගේ දරුපරපුර පදිංචි වූ කඳවුරේ ධජය යටතේ සිටි සේනාංක පිළිවෙළට ගමන් ගත්හ. එප්‍රායිම්ගේ සේනාංකයේ සෙන්පතියා අම්මිහුද්ගේ පුත් එලිෂාමා විය.</verse>
				<verse number="23">මනස්සේගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා පෙදාශූර්ගේ පුත් ගමාලියෙල් විය.</verse>
				<verse number="24">බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා ගිදෙයොනිගේ පුත් අබිදාන් විය.</verse>
				<verse number="25">ඉන්පසු දාන්ගේ දරුපරපුර පදිංචි වූ කඳවුරේ ධජය යටතේ සිටි සේනාංක කඳවුර පිටුපසින් යන ආරක්ෂක භටයන් මෙන් පිළිවෙළට ගමන් ගත්හ. දාන්ගේ සේනාංකයේ සෙන්පතියා අම්මිෂද්දයිගේ පුත් අහියේසෙර් විය.</verse>
				<verse number="26">ආෂෙර්ගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා ඔක්‍රාන්ගේ පුත් පගියෙල් විය.</verse>
				<verse number="27">නප්තලීගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා ඒනාන්ගේ පුත් අහිරා විය.</verse>
				<verse number="28">ඉශ්රායෙල් ජනයා පෙරටුවට ගමන් කළ විට ඔවුන්ගේ සේනාංක ගමන් කළ පිළිවෙළ මෙසේ විය.</verse>
				<verse number="29">මෝසෙස් තම මාමා වන මිදියන්හි රෙවුයෙල්ගේ පුත් හොබාබ්ට කතා කොට, “ ‘මම නුඹට දෙන්නෙමි’ කියා සමිඳාණන් වහන්සේ වදාළ ස්ථානයට අපි පිටත් ව යන්නෙමු. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයාට ශුභසිද්ධිය සැලසීමට පොරොන්දු වී ඇති බැවින්, ඔබ ද අප සමඟ එන්න; අපි ඔබටත් ශුභසිද්ධිය සලසන්නෙමු”යි කී ය.</verse>
				<verse number="30">එහෙත්, ඔහු පිළිතුරු දෙමින්, “මම නම් නොඑමි. මාගේ ම රටටත්, මාගේ ම නෑයන් වෙතටත් මම පිටත් ව යන්නෙමි”යි කීවේ ය.</verse>
				<verse number="31">එවිට මෝසෙස් කතා කොට, “ඔබ කරුණාකර අප අත්හැර නොයන්න. පාළුකරයේ කොතැන අප කඳවුරු බැඳිය යුතු ද කියා ඔබ දන්නවා ඇත. මෙලෙස ඔබ අපට ඇස් දෙක මෙන් වටිනා මාර්ගෝපදේශකයෙකු වනු ඇත.</verse>
				<verse number="32">ඔබ අප සමඟ එන්නෙහි නම්, සමිඳාණන් වහන්සේ අපට සලසන ශුභසිද්ධිය අපි ද ඔබට ම සලසා දෙන්නෙමු”යි කීවේ ය.</verse>
				<verse number="33">මෙසේ ඔව්හු සමිඳාණන් වහන්සේගේ කන්දෙන් නික්ම දවස් තුනක් ගමන් කළහ. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද ඔවුන්ට කඳවුරු බැඳීමට සුදුසු ස්ථානයක් සොයනු පිණිස ඔවුන්ට පෙරටුව, තුන් දිනක් ගමනෙහි යෙදිණි.</verse>
				<verse number="34">ඔවුන් නික්ම යන සෑම විට ම සමිඳාණන් වහන්සේගේ වලාකුළ දවල් කාලයේ දී ඔවුන්ට ඉහළින් තිබිණි.</verse>
				<verse number="35">ගිවිසුම් කරඬුව පිටත් ව යන සෑම විට ම, මෝසෙස් මෙසේ යැදී ය: “සමිඳුනි, නැඟිටිනු මැනවි, ඔබ සතුරෝ විසිර යෙත් වා! ඔබට වෛර කරන්නෝ ඔබෙන් පලා යෙත් වා!”</verse>
				<verse number="36">එය නැවතුණු සෑම විට ම ද, “ඉශ්රායෙල් ජනයාගේ පවුල් දස දහස් ගණන් වෙත, සමිඳුනි, ඔබ යළි වැඩම කළ මැනව” කියා යැදී ය.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">සෙනඟ දුක් ගැනවිලි ගැන කොඳුරන්නට පටන්ගත් විට සමිඳාණන් වහන්සේ ඒවා අසා, ඒවා ගැන අසතුටු වූයෙන්, උන් වහන්සේගේ උදහස ඇවිළිණි. උන් වහන්සේ සෙනඟ අතරට ගින්න එවූ විට, එය ඔවුන් දවා, කඳවුරේ එක කොණක් වනසාලී ය.</verse>
				<verse number="2">එවිට සෙනඟ මෝසෙස්ට මොරගෑ හ. ඔහු සමිඳාණන් වහන්සේ අයැදි කල, ගින්න නිවී ගියේ ය.</verse>
				<verse number="3">උන් වහන්සේ එවූ ගින්න ඔවුන් දවාලූ නිසා එම ස්ථානයට ඔහු තබේරා කියා නම් තැබී ය.</verse>
				<verse number="4">ඉශ්රායෙල් ජනයා අතර සිටි විදේශීහූ කෑම තණ්හාවට වසඟ වූ හ. ඉශ්රායෙල් ජනයා පවා හඬන්නට පටන්ගෙන, “අපට කෑමට මස් දෙන්නේ කවුරු ද?</verse>
				<verse number="5">අප මිසර දේශයේ දී නොමිලේ කෑ මාලු ද පිපිඤ්ඤ, කොමඩු, ලීක්ස්, රතු ලූනු හා සුදු ලූනු ද අපට මතක ය.</verse>
				<verse number="6">දැන් නම් අපි හෙම්බත් වී සිටිමු. අපේ ඇහැට පේන මන්නා ආහාරය හැර වෙන කිසිවක් අපට නැතැ”යි කීවෝ ය.</verse>
				<verse number="7">මන්නා, කොත්තමල්ලි ඇට මෙන් විය. එහි පැහැය සුවඳලාටු මෙන් විය.</verse>
				<verse number="8">සෙනඟ ඔබමොබ ගොස් ඒවා රැස් කොට, ගලෙන් අඹරා හෝ වංගෙඩියේ ලා කොටා හෝ බඳුන්වල පිළියෙළ කොට රොටි සෑදූ හ. එහි පිරිසිදු තෙලින් බැදූ රොටිවල මෙන් රහක් තිබිණි.</verse>
				<verse number="9">රාත්‍රියේ දී කඳවුර මත පිණි වැටුණු විට, එය සමඟ මන්නා වැටිණි.</verse>
				<verse number="10">සෙනඟ ද පවුල් වශයෙන්, තම තමන්ගේ කූඩාරම් දොරකඩ සිට හඬනු මෝසෙස්ට ඇසිණි. සමිඳාණන් වහන්සේගේ කෝපය ද ඉමහත් ලෙස දැල්විණි. මෝසෙස් දුකට පත් විය.</verse>
				<verse number="11">ඔහු සමිඳාණන් වහන්සේට කතා කොට, “ඔබේ සේවකයාට ඔබ පීඩා කරන්නේ මන් ද? ඔබට මා අප්‍රසන්න වී ඇත්තේ කුමන හේතුවකින් ද? මේ මුළු සෙනඟ ගැන වගකීම ඔබ මට පවරා තිබෙන්නේ ඇයි?</verse>
				<verse number="12">මම මේ මුළු සෙනඟ පිළිසිඳ නොගත්තෙමි. ‘ඔවුන්ගේ පියවරුන්ට පොරොන්දු වූ දේශයට, කිරි මවක කිරි බොන දරුවෙකු උසුලාගෙන යන ලෙස, ඔවුන් ඔබේ තුරුල්ලේ රැගෙන යන්න’ කියා ඔබ මට කීමට ඇත්තෙන් ම ඔවුන් ජනිත කෙළේ මම ද?</verse>
				<verse number="13">මේ මුළු සෙනඟට මා මස් කොහෙන් සොයා ගෙනැවිත් කන්න දෙන්න ද? ‘අපට කන්නට මස් දෙන්නැ’යි කියා ඔව්හු මා ළඟ හඬමින් සිටිති.</verse>
				<verse number="14">මුළු සෙනඟ ගැන වගකීම මට තනි ව දැරීමට බැරි ය.</verse>
				<verse number="15">ඔබ මට මෙසේ කරන්නෙහි නම්, කරුණාකර, මා මරාදමනු මැනවි. එවිට මගේ කාලකණ්ණිකම මට ම නොපෙනී යනු ඇතැ”යි කීවේ ය.</verse>
				<verse number="16">එවිට, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින්, “නුඹ දන්නා පරිදි සෙනඟ අතර නායකයන් හා නිලධාරීන් වන ඉශ්රායෙල් සෙනඟගේ ප්‍රජා මූලිකයන්ගෙන් හැත්තෑදෙනෙකු මා වෙත කැඳවාගෙන එන්න. නුඹ සමඟ ඔවුන් ද පෙනී සිටින පරිදි සම්මුඛ මණ්ඩපය වෙත ඔවුන් ගෙන එන්න.</verse>
				<verse number="17">මම බැසැවිත් නුඹ සමඟ එහි දී කතා කරන්නෙමි. නුඹ මත ඇති ආත්මානුභාවයෙන් කොටසක් ගෙන මම ඔවුන් පිට ද තබන්නෙමි. එවිට සෙනඟ පිළිබඳ වගකීම නුඹ තනියම නො උසුලා ඔවුන් ද නුඹ සමඟ එය උසුලනු ඇත.</verse>
				<verse number="18">සෙනඟට කතා කොට මෙසේ කියන්න: එනම්, ‘නුඹලා හෙට දවස සඳහා පවිත්‍ර වන්න. නුඹලාට මස් කෑමට ලැබෙනු ඇත.’ ‘අපට කන්න මස් දෙන්නේ කවුරු ද? මිසරයේ දී නම් අපට සැප තිබුණා නොවේ ද?’ කියා නුඹලා සමිඳාණන් වහන්සේගේ කනට ඇසෙන්නට හැඬුවහු ය. එබැවින් උන් වහන්සේ නුඹලාට කෑමට මස් දෙන සේක. නුඹලා එය කනු ඇත.</verse>
				<verse number="19">නුඹලා එය දවසක්, දෙකක්, දවස් පහක්, දහයක්, විස්සක් හෝ නොව</verse>
				<verse number="20">මුළු මාසයක් ම නාහෙන් කටින් දාන තෙක්, එය අප්‍රිය වන තෙක් කනු ඇත. මන්ද, ඔබ අතර සිටින අය සමිඳාණන් වහන්සේ ප්‍රතික්ෂේප කොට, ‘මිසර දේශයෙන් අප පිටතට ගෙනාවේ මන් ද?’ කිය කියා හැඬූ නිසා”යි වදාළ සේක.</verse>
				<verse number="21">මෝසෙස් උන් වහන්සේ අමතා, “මා අවට සිටින පාබල සෙනඟ හයදාහකි. ‘මම ඔවුන්ට මුළු මාසයක් ම කෑමට මස් දෙමි’යි ඔබ වදාරන සේක.</verse>
				<verse number="22">ඔවුන් උදෙසා එළු බැටළු සහ ගව පට්ටි මැරුවොත්, ඔවුන්ට සෑහේ ද? එසේ නැත්නම් මුහුදේ මසුන් සියල්ල එකට එක්රැස් කළොත් ඔවුන්ට සෑහේ දැ”යි ඇසී ය.</verse>
				<verse number="23">එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “මාගේ බලයට සීමා තිබේ ද? මා කියන දේ වන්නේ ද නොවන්නේ ද? කියා නුඹ දැන් දකිනු ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="24">මෝසෙස් නික්ම ගොස් සමිඳාණන් වහන්සේ වදාළ දේ සෙනඟට දන්වා, ප්‍රජා මූලිකයන් හැත්තෑදෙනෙකු කැඳවා, කූඩාරම වටේට ඔවුන් සිටෙව්වේ ය.</verse>
				<verse number="25">සමිඳාණන් වහන්සේ වලාකුළකින් බැස, අවුත් මෝසෙස්ට කතා කොට, ඔහු මත වූ ආත්මානුභාවයෙන් කොටසක් ගෙන මූලිකයන් හැත්තෑදෙනාට දුන් සේක. ආත්මානුභාවය ඔවුන් මත පහළ වූ විට, ඔව්හු මඳ වේලාවක් දිවැස් වැකි කීමට පටන්ගත්හ.</verse>
				<verse number="26">එහෙත් මොවුන්ගෙන් දෙදෙනෙක් කඳවුරෙහි නැවතී සිටියහ. එක් කෙනෙකුගේ නම එල්දාද් ය, අනික් තැනැත්තා මේදාද් ය. මොවුහු සෙස්සන් අතර ලේඛනගත වී තිබුණ නමුත් කූඩාරමට නොගියහ. එහෙත්, ආත්මානුභාවය ඔවුන් මත ද පහළ වූයෙන් කඳවුර තුළ ඔව්හු ද දිවැස් වැකි කී හ.</verse>
				<verse number="27">එවිට එක් තරුණයෙක් දිව ගොස් එල්දාද් සහ මේදාද් කඳවුර තුළ දිවැස් වැකි කියන බව මෝසෙස්ට සැළ කෙළේ ය.</verse>
				<verse number="28">එවිට තරුණ වියේ පටන් මෝසෙස්ට සේවය කළ නූන්ගේ පුත්, ජෝෂුවා කතා කොට, “මා පිය මෝසෙස් තුමෙනි, ඔවුන් නවතාලන්නැ”යි ඉල්ලී ය.</verse>
				<verse number="29">මෝසෙස් ඔහුට කතා කොට, “ඔබ මාගේ යහපතට ඊර්ෂ්‍යා කරන්නෙහි ද? දෙවිඳාණෝ උන් වහන්සේගේ මුළු සෙනඟ දිවැසිවරුන් කර, ඔවුන් හට සිය ආත්මානුභාවය දෙන සේක් නම් කෙතරම් අනගි දැ”යි පිළිතුරු දුනි.</verse>
				<verse number="30">මෙසේ කියා මෝසෙස් සහ ප්‍රජා මූලිකයෝ ආපසු කඳවුරට ගියහ.</verse>
				<verse number="31">සමිඳාණන් වහන්සේ මුහුදින් සුළඟක් හමන්නට සැලැසූ සේක. ඒ සුළඟ වටුවන් ගසාගෙන අවුත් කඳවුර සමීපයෙහි ඔවුන් හෙළී ය. කඳවුර වටේට දවසක ගමනක් පමණ දුරට ද පොළොවෙන් මීටරයක් පමණ ඉහළට ද ඔවුන් වැටී තිබිණි.</verse>
				<verse number="32">සෙනඟ එදින මුළු රෑ සහ දවල් ද, ඊට පසු දින ද වටුවන් එකතු කිරීමෙහි යෙදී සිටියහ. ඉතා අඩුවෙන් ම එකතු කරගත් තැනැත්තා ඒවායින් කිලෝග්‍රෑම් දහසක් එකතු කරගත්තේ ය. ඉන්පසු ඔව්හු කඳවුර වටේට ම උන් ඇතුරුවෝ ය.</verse>
				<verse number="33">ඔවුන් ඒ මස් කටට ගෙන, එය විකන්නටත් පෙර සෙනඟට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස ඇවිළී යෑමෙන්, උන් වහන්සේ මහා වසංගතයකින් සෙනඟට පීඩා කළ සේක.</verse>
				<verse number="34">තවද, එහි දී කෑදරකම් කළ සෙනඟ වළලන ලද බැවින්, එම ස්ථානයට කෑදරකමේ මිනීවළවල් යන අරුත ඇති කිබ්රොත්-හත්තාවා යන නම තැබී ය.</verse>
				<verse number="35">සෙනඟ කිබ්රොත්-හත්තාවා යන ස්ථානයෙන් නික්ම, හශේරොත් දක්වා ගොස් එහි පදිංචි වූ හ.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">මෝසෙස්, කුෂ් නම් දේශයෙන් කුෂ් ජාතික ස්ත්‍රියක සරණ පාවාගත් හෙයින් මීරියම් සහ ආරොන් ඔහුට විරුද්ධ ව කතා කළහ.</verse>
				<verse number="2">“සමිඳාණන් වහන්සේ කතා කෙළේ මෝසෙස් මඟින් පමණක් ද? උන් වහන්සේ අප මඟින් පවා කතා නොකරන සේක් දැ”යි ඔව්හු කීවෝ ය. සමිඳාණන් වහන්සේට එය ඇසිණි.</verse>
				<verse number="3">මිහි පිට සිටි සියලු මිනිසුන් අතරෙන් මෝසෙස් අතිනිහතමානී කෙනෙක් විය.</verse>
				<verse number="4">සමිඳාණන් වහන්සේ හදිසියෙන් මෝසෙස්ට, ආරොන්ට සහ මීරියම්ට කතා කොට, “නුඹලා තිදෙන සම්මුඛ මණ්ඩපයට නික්ම ආ යුතු ය”යි වදාළ සේක. ඔව්හු ද එහි ගියහ.</verse>
				<verse number="5">උන් වහන්සේ වලා ටැඹකින් බැස අවුත්, සම්මුඛ මණ්ඩපයේ දොරකඩ වැඩ සිට, ආරොන් සහ මීරියම් කැඳවූ සේක. ඔව්හු දෙදෙන පැමිණියහ.</verse>
				<verse number="6">එවිට උන් වහන්සේ කතා කොට, “මා වදනට සවන් දෙන්න; දිවැසිවරු ඔබ අතර සිටිත් නම්, සමිඳුන් ඔවුන්ට ප්‍රකාශ වනුයේ දර්ශනවලිනි; ඔවුන්ට කතා කරනුයේ සිහිනවලිනි:</verse>
				<verse number="7">
					මා සේවක මෝසෙස් එසේ නොවේ, ඔහුට මාගේ මුළු සෙනඟ භාර දී ඇත.
				</verse>
				<verse number="8">මම ඔහු සමඟ මුහුණට මුහුණ ලා කතා කරමි, ගුප්ත වදනින් නොව, පැහැදිලි ව, කතා කරමි. ඔහු සමිඳුන්ගේ රූපය දකිනු ඇත. එබැවින් මාගේ සේවක මෝසෙස්ට විරුද්ධ ව කතා කිරීමට නුඹලා එඩිතර වූයේ කෙසේ දැ’යි ඇසූ සේක.</verse>
				<verse number="9">සමිඳාණන් වහන්සේගේ උදහස ඔවුන්ට විරුද්ධ ව ඇවිළිණි. උන් වහන්සේ නික්ම ගිය සේක.</verse>
				<verse number="10">වලාකුළ මණ්ඩපයෙන් ඉවත් විය. පුදුමයකි! මීරියම්ට හිම මෙන් සුදු කුෂ්ඨ රෝගයක් වැළඳී තිබිණි. ආරොන් ඈ දෙස බැලූ විට ඈට කුෂ්ඨයක් තිබෙන බව පෙනිණි.</verse>
				<verse number="11">එවිට ආරොන් මෝසෙස්ට කතා කොට, “අහෝ ස්වාමීනි! අපගේ මෝඩකමින් අප කළ පාපයේ වගකීම අප පිට පවරනු නොමැනවි.</verse>
				<verse number="12">ඈ මවු කුසින් බිහි වන, මාංසයෙන් කොටසක් දිරා ගිය, මළ කෙනෙකු මෙන් නො වේ වා”යි කීවේ ය.</verse>
				<verse number="13">මෝසෙස් සමිඳාණන් වහන්සේට මොරගසමින්, “මාගේ දෙවිඳුනි, ඈ වහා ම සුව කරන ලෙස, මම ඔබගෙන් අයැදිමි”යි කියා කෑගැසී ය.</verse>
				<verse number="14">ඉන්පසු සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “ඇගේ පියා ඇගේ මූණට කෙළ ගැසී නම්, ඈ දින හතක් තුළ ලජ්ජා නොවිය යුතු ද? එබැවින් දින හතකට ඈ කඳවුරෙන් නෙරපාදමනු ලැබිය යුතු ය. ඉන්පසු ඇය කඳවුර තුළට බාර ගත හැකි ය”යි වදාළ සේක.</verse>
				<verse number="15">දින හතකට මීරියම් කඳවුරෙන් නෙරපාදමනු ලැබුවා ය. ඈ යළි පැමිණෙන තෙක් සෙනඟ ද යන්නට පිටත් නො වූ හ.</verse>
				<verse number="16">ඉන්පසු සෙනඟ හශේරොත් නම් ස්ථානයෙන් නික්ම ගොස් පාරාන් නම් පාළුකරයේ කඳවුරු බැඳගත්හ.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,</verse>
				<verse number="2">“මා ඉශ්රායෙල් ජනයාට දෙන්නට යන කානාන් දේශයට චරපුරුෂයන් යවන්න. නුඹලාගේ පිය ගෝත්‍ර සෑම එකකින් ම එක්කෙනා බැගින් ඔවුන් අතර මූලිකයන් වන අය යවන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="3">ඔහු ද සමිඳාණන් වහන්සේගේ අණට කීකරු ව පාරාන් නම් පාළුකරයෙන් ඔවුන් යැවී ය. ඒ සියල්ලෝ ඉශ්රායෙල් ජනයා අතර මූලිකයෝ වූ හ.</verse>
				<verse number="4">මොවුන්ගේ නාමාවලිය මෙසේ ය: රූබන්ගේ ගෝත්‍රයෙන් සක්කුර්ගේ පුත් ෂම්මුවා ය.</verse>
				<verse number="5">සිමියොන්ගේ ගෝත්‍රයෙන් හෝරීගේ පුත් ෂාපාත් ය.</verse>
				<verse number="6">ජුදාගේ ගෝත්‍රයෙන් ජෙපුන්නේගේ පුත් කාලෙබ් ය.</verse>
				<verse number="7">ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් ජෝසෙප්ගේ පුත් ඉගාල් ය.</verse>
				<verse number="8">එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් නූන්ගේ පුත් හෝෂෙයා ය.</verse>
				<verse number="9">බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් රාපුගේ පුත් පල්තී ය.</verse>
				<verse number="10">සාබුලොන්ගේ ගෝත්‍රයෙන් සෝදිගේ පුත් ගද්දියෙල් ය.</verse>
				<verse number="11">ජෝසෙප්ගේ ගෝත්‍රයෙන්, එනම් මනස්සේගේ ගෝත්‍රයෙන් සුසිගේ පුත් ගද්දී ය.</verse>
				<verse number="12">දාන්ගේ ගෝත්‍රයෙන් ගෙමල්ලීගේ පුත් අම්මියෙල් ය.</verse>
				<verse number="13">ආෂෙර්ගේ ගෝත්‍රයෙන් මිකායෙල්ගේ පුත් සෙතූර් ය.</verse>
				<verse number="14">නප්තලීගේ ගෝත්‍රයෙන් වොප්සීගේ පුත් නාබි ය.</verse>
				<verse number="15">ගාද්ගේ ගෝත්‍රයෙන් මාබීගේ පුත් ගෙවුයෙල් ය.</verse>
				<verse number="16">ඉහත දැක්වූයේ මෝසෙස් කානාන් රටට යැවූ චරපුරුෂයන්ගේ නාමාවලිය යි. තවද, ඔහු නූන්ගේ පුත් හෝෂෙයාගේ නම වෙනස් කොට ඔහුට ජෝෂුවා යි යන නම තැබී ය.</verse>
				<verse number="17">මෝසෙස් කානාන් දේශයට ඔවුන් චරපුරුෂයන් සේ යවමින්, ඔවුන් අමතා, “දකුණු දිශාවට ගොස්, ඉන්පසු කඳුකරයට යන්න.</verse>
				<verse number="18">කුමන විධියේ රටක් ද? එහි වාසීන් බලසම්පන්න ද දුබල ද? එහි ජනගහනය හිඟ ද බහුල ද?</verse>
				<verse number="19">ඔවුන් පදිංචි භූමිය හොඳ ද නරක ද? ඔවුන් පදිංචි නුවර කුමන විධියේ ද? ඔවුන් පදිංචි ව සිටින්නේ කූඩාරම්වල ද බලකොටුවල ද?</verse>
				<verse number="20">ඒ රට සරු ද නිසරු ද? මූකලාන් එහි ඇද්ද නැද් ද? යන වග සොයා බලන්න. තවද, ධෛර්ය ගෙන, ඒ රටේ පලතුරුවලින් යමක් ගෙනෙන්නැ”යි කීවේ ය. ඒ කාලය පළමු වරට මිදි ගෙඩි නෙළන වාරය විය.</verse>
				<verse number="21">එවිට ඔව්හු උතුරට ගොස්, ශීන් නම් පාළුකරයේ සිට හමාත් නම් දුර්ගයේ පිහිටි රෙහොබ් දක්වා වූ රටෙහි ඔත්තු බැලූ හ.</verse>
				<verse number="22">ඉන්පසු ඔව්හු දකුණට ගොස් හෙබ්‍රොන් නම් ස්ථානයට පැමිණියහ. එහි අනාක්ගේ පරම්පරාවන් වූ අහීමන්, ෂේෂයි සහ තල්මයි යන අයගේ ගෝත්‍රිකයෝ සිටියහ. තවද, හෙබ්‍රොන් නුවර ගොඩනඟන ලද්දේ මිසරයේ ශොවන් නුවරට සත් අවුරුද්දකට ප්‍රථමයෙනි.</verse>
				<verse number="23">ඉන්පසු ඔව්හු එෂ්කොල් මිටියාවතට අවුත්, එහි දී මිදි පොකුරක් ඇති රිකිල්ලක් කපාගෙන, එය හරස් ලීයක එල්ලා, දෙදෙනෙක් එය තඩලාගෙන ආහ. ඔව්හු දෙළුම් සහ අත්තික්කා ද ගෙනාවෝ ය.</verse>
				<verse number="24">එම ස්ථානයට එෂ්කොල් මිටියාවත ය යි නම් කරන ලද්දේ ඉශ්රායෙල් ජනයා එහි දී කපාගත් මිදි පොකුර නිසා ය.</verse>
				<verse number="25">දවස් හතළිහකට පසු ඔව්හු රටේ ඔත්තු බලා ආපසු පැමිණියහ.</verse>
				<verse number="26">පාරාන් පාළුකරයේ කාදෙෂ් නම් ස්ථානයේ සිටි මෝසෙස්, ආරොන් සහ මුළු ඉශ්රායෙල් ජනතාව වෙත ඔව්හු පැමිණ, ඔවුන් සියල්ලන්ට රටේ යථා තත්ත්වය වාර්තා කර, තමන් ඒ රටින් ගෙනා පලතුරු පෙන්වූ හ.</verse>
				<verse number="27">ඔව්හු මෝසෙස් අමතා, “ඔබ අප යැවූ දේශයට අපි ගියෙමු. ඇත්තට ම ඒ නම් කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන රටකි. මෙන්න, එහි පලතුරු.</verse>
				<verse number="28">එහෙත්, ඒ දේශවාසීහු බලසම්පන්න ය. ඔවුන්ගේ නගර පවුරුවලින් වට කොට ඇත; ඒවා අති විශාල ය; ඇරත් අපි එහි දී අනාක්ගේ දරුමුණුබුරන් ද දුටිමු,</verse>
				<verse number="29">අමලෙක්වරු රටේ දකුණු දිශාවේ වාසය කරති, හිත්තීවරු සහ ජෙබුසිවරු, අමෝරිවරු කඳුකරයේ වාසය කරති; කානානිවරු මුහුදුබඩ ද ජොර්දාන් ගඟ අසබඩ ද වාසය කරති”යි කී හ.</verse>
				<verse number="30">එවිට කාලෙබ්, මෝසෙස්ට විරුද්ධ ව මැසිවිලි කී සෙනඟ නිහඬ කරමින්, “අපි වහා ම ගොස්, එය හිමි කර ගනිමු. ඔවුන් පරාජය කිරීම පහසුවෙන් ම කළ හැකි යැ”යි කී ය.</verse>
				<verse number="31">එහෙත්, ඔහු සමඟ ගිය සෙසු චරපුරුෂයෝ කතා කරමින්, “සෙනඟ පරාජය කිරීමට තරම් අප බලසම්පන්න නොවන්නට පුළුවන, ඔව්හු අපට වඩා ශක්ති සම්පන්න ය”යි කී හ.</verse>
				<verse number="32">මෙලෙස ඔව්හු තමන් ඔත්තු බැලූ රට ගැන අසත්‍ය වාර්තාවක් ඉශ්රායෙල් ජනයාට දෙමින්, “අප ඔත්තු බැලීමට ගිය රට නම්, වැසියන් කාදමන රටකි. එහි අප දුටු මිනිසුන් සියල්ලෝ ම උස මහත මිනිස්සු ය.</verse>
				<verse number="33">එහි දී, යෝධයන්ට නෑකම් කියන අනාක්ගෙන් පැවතෙන යෝධ පරපුරක් අපි දුටිමු. ඔවුන් ඉදිරියෙහි අප පළඟැටියන් මෙන් අපට ම පෙනුණේ ය. අප ද ඔවුන්ටත් එලෙස ම පෙනෙන්නට ඇතැ”යි කී හ.</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">එදින රාත්‍රියේ මුළු සෙනඟ ම ශබ්ද නඟා කෑගසමින් හඬන්නට වූ හ.</verse>
				<verse number="2">ඉශ්රායෙල් ජනයා, මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව මැසිවිලි කී හ. මුළු ජනතාව ම ඔවුන්ට කතා කොට, “මිසර දේශයේ අපි මැරී ගියෙමු නම් කොතරම් හොඳ ද! එසේ නැත් නම් පාළුකරයේ මිය ගියෙමු නම් කොතරම් හොඳ ද!</verse>
				<verse number="3">යුද්ධයෙන් අප නසාලන්නටත්, අපේ අඹුදරුවන් බිලි කරන්නටත්, සමිඳාණන් වහන්සේ මේ දේශයට අපව ගෙනාවේ ඇයි දැ”යි කී හ.</verse>
				<verse number="4">ඉන්පසු ඔව්හු එකිනෙකාට කතා කොට, “අපි නායකයෙකු තෝරාගෙන මිසර දේශයට යමු”යි කතා කරගත් හ.</verse>
				<verse number="5">එවිට මෝසෙස් සහ ආරොන් මුළු ඉශ්රායෙල් ජනතාව ම ඉදිරියෙහි මුණින්තලා වැටුණාහ.</verse>
				<verse number="6">රටේ ඔත්තු සොයා ගියවුන් අතර නූන්ගේ පුත් ජෝෂුවා ද ජෙපුන්නේගේ පුත් කාලෙබ් ද දුකින් තම වස්ත්‍ර ඉරාගත්හ.</verse>
				<verse number="7">ඉන්පසු ඔව්හු මුළු ඉශ්රායෙල් ජනතාව ම අමතා, “අප ඔත්තු සොයමින් ගිය රට ඉතා ම සාරවත් රටකි.</verse>
				<verse number="8">සමිඳාණන් වහන්සේ අප ගැන ප්‍රසන්න වන සේක් නම්, උන් වහන්සේ අප මේ රටට පමුණුවා, එය අපට ලබා දෙන සේක. ඒ රට කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන රටකි.</verse>
				<verse number="9">සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පමණක් කැරලි නොගසන්න. ඒ රට වාසීන්ට ද බිය නොවන්න. මන්ද, අපි ඔවුන් ගොදුරු කොට ගන්නෙමු. සමිඳාණන් වහන්සේ අප සමඟ වන බැවින් ඔවුන්ට අරක්ගත් දෙවිවරුන් ඔවුන්ගෙන් ඉවත ගොස් ඇත. ඔවුන්ට බිය නොවැන්නැ”යි කීවෝ ය.</verse>
				<verse number="10">එහෙත්, මුළු ජනතාව ගල් ගසා ඔවුන් මැරීමට ලකලෑස්ති වූ හ. එවිට මුළු ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි සම්මුඛ මණ්ඩපය මත සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය දර්ශනය විය.</verse>
				<verse number="11">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “මේ සෙනඟ කොපමණ කල් මා හෙළා දකින්නෝ ද? ඔවුන් මැද මා කළ හාස්කම් දැක දැකත් ඔවුන්ට මා කෙරෙහි විශ්වාසය තැබීමට තව කොපමණ කල් ගතවේ ද?</verse>
				<verse number="12">මම වසංගතයකින් ඔවුන්ට පහර දී, ඔවුන්ගේ උරුමය අහෝසි කරදමමි. ඔවුන්ට වඩා බලසම්පන්න, විශාල ජාතියක් නුඹ මඟින් ඇති කරන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="13">එවිට මෝසෙස් සමිඳාණන් වහන්සේට පිළිතුරු දෙමින්, “මහ බලපරාක්‍රමය පාමින් මේ සෙනඟ මුදාගෙන පැමිණියේ ඔබ වහන්සේ බව මිසර වැසියෝ දනිති. ඔවුන් මෙය අසන විට,</verse>
				<verse number="14">එරට වැසියන්ට ද එය කියනු ඇත. තවද, සමිඳාණන් වහන්සේ වන ඔබ මේ සෙනඟ මැද වැඩ වසන බවත්, ඔබ ඔවුන්ට මුහුණට මුහුණ ලා පෙනෙන බවත්, ඔබගේ ලකුණ වන වලාකුළ ඔවුන්ට ඉහළින් රඳා සිටින බවත්, ඔබ ඔවුන්ට පෙරටුව, දවල් කාලයේ දී වලා ටැඹක් මඟින් ද, රාත්‍රි කාලයේ දී ගිනි ටැඹක් මඟින් ද වැඩම කරන බවත් ඔවුන් අසා ඇත.</verse>
				<verse number="15">දැන් ඉතින්, ඔබ වහන්සේ ඔවුන් සමූලඝාතනය කරන සේක් නම්, ඔබ වහන්සේගේ කීර්තිය ගැන ඇසූ ජාතීහු කතා කොට,</verse>
				<verse number="16">‘සමිඳාණන් වහන්සේ ඔවුන්ට දිවුරා පොරොන්දු වූ දේශයට ඔවුන් ගෙනෙන්නට නොහැකි වූ බැවින්, උන් වහන්සේ ඔවුන් පාළුකරයේ දී මරාදැමූ සේකැ’යි කියන්නාහ.</verse>
				<verse number="17">ඔබ වදාරා ඇති පරිදි, සමිඳාණන් වහන්සේ වන ඔබ පහසුවෙන් නොකිපෙන සුලු ය, ඉමහත් සේ දයා පාන සේක, අදමිටුකම් හා නපුරුකම් කමා කරන සේක, වැරදිකරුට දඬුවම් නොකර නොහරින සේක, පියවරුන්ගේ දමිටුකම් නිසා ඔවුන්ගේ දරු මුණුබුරන්ට තුන් වන හතර වන පරම්පරාව දක්වා දඬුවම් කරන සේක. එසේ පොරොන්දු වූ ලෙස දැන් කරුණාකර ඔබ වහන්සේගේ බලපරාක්‍රමය විදහා පෑව මැනව.</verse>
				<verse number="18">***</verse>
				<verse number="19">එබැවින්, කරුණාකර, ඔබ වහන්සේගේ ඉමහත් දයාව පෑම අනුව, මොවුන් මිසරයෙන් පැමිණි දින සිට අද දක්වා කමා කළ ලෙස, මේ සෙනඟට කමා කරනු මැනවැ”යි අයැදී ය.</verse>
				<verse number="20">සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “නුඹේ ඉල්ලීම පරිදි මම ඔවුන්ට කමා කෙළෙමි.</verse>
				<verse number="21">එහෙත්, මාගේ නාමයෙන් ද, මුළු ලෝකය මාගේ මහිමාලංකාරයෙන් පිරී පවතින තෙක් ද මා දිවුරා කියන්නේ මේ ය:</verse>
				<verse number="22">‘ඒ මුළු සෙනඟ මාගේ මහිමාලංකාරය හා මිසරයේ සහ පාළුකරයේ මා කළ හාස්කම් දැක දැකත්, දස වාරයකට වඩා මා පරීක්ෂා කොට, මා හඬට සවන් නුදුන් බැවින්</verse>
				<verse number="23">මා ඔවුන්ගේ පියවරුන් හට දිවුරා පොරොන්දු වූ දේශය ඔව්හු සත්තකට ම නොදකින්නෝ ය. ඔවුන් අතර සිටින, මා හෙළා දුටු කිසිවෙකු ද එය නොදකිනු ඇත.</verse>
				<verse number="24">එහෙත් මාගේ සේවක කාලෙබ්ට සෙස්සන්ට වඩා වෙනස් ආකල්පයක් තිබුණු හෙයිනුත්, ඔහු මට සම්පූර්ණයෙන් ම පක්ෂපාත ව සිටි හෙයිනුත්, ඔහු ඇතුළු වූ රටට මම ඔහු පමුණුවන්නෙමි. ඔහුගේ පෙළපත ද එය හිමි කරගනු ඇත.’</verse>
				<verse number="25">දැනට එහි මිටියාවතේ අමලෙක්වරු සහ කානානිවරු පදිංචි ව සිටිති. එබැවින් හෙට, ආපසු හැරී රතු මුහුදට යන මාර්ගයෙන් පාළුකරයට යන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="26">සමිඳාණන් වහන්සේ යළි මෝසෙස්ට සහ ආරොන්ට කතා කොට,</verse>
				<verse number="27">“මට විරුද්ධ ව මැසිවිලි කියන මේ නපුරු ජනතාව ගැන මම කොපමණ කල් ඉවසම් ද? ඉශ්රායෙල් ජනයා මට විරුද්ධ ව කී මැසිවිලි මා අසා ඇත.</verse>
				<verse number="28">එබැවින් ඔබ ඔවුන් අමතා මෙසේ කියන්න: ‘නුඹලා මාගේ කනට ඇසෙන සේ කී ලෙස මා නුඹලාට කරන බවට, මම දිවුරමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="29">ජන සංගණනයේ දී ලියාපදිංචි කළ, වයස අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, මට විරුද්ධ ව මැසිවිලි කී සියල්ලෝ ම මේ පාළුකරයේ ම නසිනු ඇත.</verse>
				<verse number="30">ජෙපුන්නේගේ පුත් කාලෙබ් හා නූන්ගේ පුත් ජෝෂුවා හැර, අන් කිසිවෙකු මා ඔබ හැම පදිංචි කරවීමට පොරොන්දු දුන් රටට කිසි සේත් ඇතුළු නොවනු ඇත.</verse>
				<verse number="31">‘මම ඔවුන් බිලි දෙන්නට යන්නෙමි’යි කියා නුඹ පැවසූ නුඹේ කුඩා දරුවන් නම් මම එහි ඇතුළු කරන්නෙමි. නුඹලා හෙළා දුටු ඒ දේශය ඔවුන් භුක්ති විඳිනු ඇත.</verse>
				<verse number="32">එහෙත්, නුඹලා මේ පාළුකරයේ ම නසින්නහු ය.</verse>
				<verse number="33">නුඹලාගේ දරුපරපුර අවුරුදු හතළිහක් තුළ මේ පාළුකරයේ ඒ මේ අත යමින්, නුඹලාගේ මළකඳන් පසට හැරෙන තෙක්, නුඹලාගේ අවිශ්වාසවන්තකම නිසා දුක් විඳින්නහු ය.</verse>
				<verse number="34">නුඹලා ඒ රටේ ඔත්තු සෙවූ කාලය දවස් හතළිහක් නොවේ ද? හැබැයි, එක එක දවසකට, එක එක අවුරුද්ද බැගින් සලකා, අවුරුදු හතළිහක් තුළ නුඹලාගේ දුෂ්ටකම්වලට වග කියමින්, මාගේ පොරොන්දු කඩ කිරීමේ විපාකයේ බරපතලකම කෙතරම් ද කියා දැනගන්නහු ය.</verse>
				<verse number="35">මෙය වදාළේ සමිඳාණන් වහන්සේ වන මම ය. මට විරුද්ධ ව පෙරමුණු බැඳගත් මේ මුළු නපුරු ජනතාවට ම මම සත්තකට ම දඬුවම් කරමි. මේ පාළුකරයේ ම ඔවුන් නැති නාස්ති වී වැනසී යනු ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="36">මෙලෙස මෝසෙස් විසින් රටේ ඔත්තු බැලීමට යවනු ලැබ, ආපසු පැමිණි චරපුරුෂයන් රට ගැන බොරු ආරංචි සැළ කළ බැවින් මුළු ජනතාව ම මෝසෙස්ට විරුද්ධ ව මැසිවිලි කී හ.</verse>
				<verse number="37">තවද, මෙසේ රට ගැන බොරු ආරංචි සැළ කළ ඒ අය, සමිඳාණන් වහන්සේ විසින් එවන ලද වසංගතයකින් වැනසී ගියෝ ය.</verse>
				<verse number="38">එහෙත්, රට ගැන ඔත්තු බැලූ චරපුරුෂයන් අතර නූන්ගේ පුත් ජෝෂුවා සහ ජෙපුන්නේගේ පුත් කාලෙබ් පමණක් නොමැරී ඉතිරි වූ හ.</verse>
				<verse number="39">මෝසෙස් මේ සියල්ල මුළු ඉශ්රායෙල් ජනයාට සැළ කළ විට සෙනඟ තදින් වැලපුණාහ.</verse>
				<verse number="40">ඔව්හු පසු දින අලුයම නැඟිට, කඳුකර ප්‍රදේශයට යන්නට සූදානම් වෙමින්, “මෙන්න, දැන් අපි සමිඳාණන් වහන්සේ අපට පොරොන්දු වූ ස්ථානයට නැඟී යමු. අපි පව් කෙළෙමු”යි කී හ.</verse>
				<verse number="41">එවිට මෝසෙස් පිළිතුරු දෙමින්, “දැන් ඉතින් ඔබේ සමිඳාණන් වහන්සේගේ ආඥා කඩ කරන්නේ මන් ද? ඔබේ වෑයම නිෂ්ඵල වේ.</verse>
				<verse number="42">මෙලෙස නොයන්න, සමිඳාණන් වහන්සේ ඔබ මැද වැඩ සිටින්නේ නැත. ඔබේ සතුරන් ඔබට පහර දෙනු ඇත.</verse>
				<verse number="43">ඔබ, අමලෙක්වරුන්ට සහ කානානිවරුන්ට මුහුණ දෙන විට යුද්ධයෙන් නසින්නහු ය. ඔබ හැම සමිඳාණන් වහන්සේගෙන් ඉවත ගොස් සිටින බැවින්, උන් වහන්සේ ඔබ හැම මැද නතර නොවන සේකැ”යි කී ය.</verse>
				<verse number="44">එහෙත්, ඔව්හු හිතුවක්කාරකමින් නැඟී කඳුකර ප්‍රදේශයේ මුදුනට ගියහ. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව වත් මෝසෙස් වත් කඳවුරෙන් නික්ම නොගියේ ය.</verse>
				<verse number="45">එවිට කඳුකර ප්‍රදේශයෙහි විසූ අමලෙක්වරු ද කානානිවරු ද බැස අවුත් ඔවුන්ට පහර දී හොර්මා නම් ස්ථානය දක්වා ඔවුන් ලුහුබැඳ ගියෝ ය.</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්න: ‘මා නුඹලාට දෙන්නට යන නුඹලාගේ වාස භූමිය වන රටට පැමිණි කල</verse>
				<verse number="3">ගව පට්ටිවලින් හෝ එළු බැටළු පට්ටිවලින් හෝ ගත් සතෙකු සමිඳාණන් වහන්සේගේ මහිමයට ගින්නෙන් දවා, දවන යාග පූජාවක් වශයෙන් හෝ බාරයක් ඔප්පු කිරීමක් වශයෙන් හෝ ස්වේච්ඡා පූජාවක් වශයෙන් හෝ මංගල දිනක දී පුදන පූජාවක් වශයෙන් හෝ පුදන්නහු නම්, ඒවා සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වනු ඇත.</verse>
				<verse number="4">තවද, එවැන්නක් සමිඳාණන් වහන්සේට පුදන තැනැත්තේ, තෙල් ලීටර් එකක් සමඟ ඇනූ පිටි කිලෝග්‍රෑම් දෙකක් ධාන්‍ය පූජාවක් වශයෙන් ගෙනා යුතු ය.</verse>
				<verse number="5">නුඹලා දවන යාග පූජාවක් වශයෙන් පුදන එක් එක් බැටළු පැටියෙකු සමඟ, පානීය පූජාවක් වශයෙන් මිදියුස ලීටර් එකක් ද පිදිය යුතු ය.</verse>
				<verse number="6">නුඹලා පුදන එක් එක් බැටළු වස්සෙකු සමඟ ධාන්‍ය පූජාවක් වශයෙන් තෙල් ලීටර් එකහමාරක් ඇනූ සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකක් ද පිදිය යුතු ය.</verse>
				<verse number="7">තවද, පානීය පූජාවක් වශයෙන් මිදියුස ලීටර් එකහමාරක් පිදිය යුතු ය. මේවා සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වනු ඇත.</verse>
				<verse number="8">දවන යාග පූජාවක් වශයෙන් හෝ බාරයක් ඔප්පු කිරීමක් හෝ සහභාගිකමේ පූජාවක් වශයෙන් හෝ ගොනෙකු සමිඳාණන් වහන්සේට ඔප්පු කරන කල</verse>
				<verse number="9">ගොනා සමඟ ආහාර පූජාවක් වශයෙන් තෙල් ලීටර් දෙකක් ඇනූ සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද ගෙනා යුතු ය.</verse>
				<verse number="10">පානීය පූජාවක් වශයෙන් මිදියුස ලීටර් දෙකක් ද ගෙනා යුතු ය. ගින්නෙන් දවා පිදූ මෙය සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳකි.</verse>
				<verse number="11">පූජා කරන එක් එක් ගොනෙකු ද බැටළු වස්සෙකු ද බැටළු පැටියෙකු ද සඳහා මෙලෙස කළ යුතු ය.</verse>
				<verse number="12">නුඹලා පුදන සතුන්ගේ ගණන අනුව, එක එක සතා සම්බන්ධයෙන් මෙලෙස ඉටු කළ යුතු ය.</verse>
				<verse number="13">‘ස්වදේශිකයන් සියලු දෙන ම, සුමිහිරි සුවඳක් සහිත පඬුරක් ගින්නෙන් දවා, සමිඳාණන් වහන්සේට ඔප්පු කරන විට, මේ අයුරින් සියල්ල ඉටු කළ යුතු ය.</verse>
				<verse number="14">තවද, නුඹලා සමඟ කලකට වසන විදේශිකයෙක් වේ වා, නිත්‍ය පදිංචිය ඇති කෙනෙක් වේ වා, සුමිහිරි සුවඳක් සහිත පඬුරක් ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට ඔප්පු කරන විට, නුඹලා කරන හැටියට ම ඔහුත් කළ යුතු ය.</verse>
				<verse number="15">ඉශ්රායෙල් ජනයා වන නුඹලාටත්, නුඹලා සමඟ කලකට වසන විදේශිකයන්ටත් ඉදිරියට සදහට ම එක ම නියෝගයක් වලංගු වනු ඇත. සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නුඹලා සහ විදේශිකයන් එක සමාන වනු ඇත.</verse>
				<verse number="16">නුඹලාටත්, නුඹලා සමඟ කලකට වසන විදේශිකයන්ටත් එක ම නීතියක් සහ එක ම නියෝගයක් වලංගු වනු ඇත.’ “</verse>
				<verse number="17">යළි සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="18">“ඉශ්රායෙල් ජනයා අමතා මෙය කියන්න: ‘මා නුඹලා ව ගෙනෙන රටට නුඹලා පැමිණි පසු</verse>
				<verse number="19">ඒ රටේ නිපද වූ ආහාර අනුභව කරන විට, ඉන් කොටසක් විශේෂ පඬුරු පිණිස සමිඳාණන් වහන්සේ වන මා සඳහා වෙන් කළ යුතු ය.</verse>
				<verse number="20">අස්වැන්න නෙළන විට සමිඳාණන් වහන්සේට විශේෂ පඬුරක් ඔප්පු කරන ලෙස, පළමු ධාන්‍යවලින් සෑදූ රොටියක් ද ඔප්පු කළ යුතු ය.</verse>
				<verse number="21">මෙලෙස පළමු ධාන්‍යවලින් සෑදූ රොටියක්, නුඹලාගේ සෑම පරම්පරාවක් ම සමිඳාණන් වහන්සේට විශේෂ පඬුරක් කොට පිදිය යුතු ය.</verse>
				<verse number="22">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාළ මේ සියලු ආඥා යම් කිසි අතපසු වීමකින් නුඹලා කඩ කළොත්</verse>
				<verse number="23">එසේ නැත් නම්, උන් වහන්සේ ඒවා අණ කළ දින පටන් ඉදිරියට මතු පරම්පරාවන්, මෝසෙස් මඟින් දුන් ආඥා කඩ කළොත්,</verse>
				<verse number="24">එසේ වූයේ ජනතාවට නොදැනුවත්කමින් නම්, මුළු ජනතාව ම සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳැති දවන යාග පූජාවක් වශයෙන් එක ගොන් වස්සෙකු ඔප්පු කළ යුතු ය. එය සමඟ සිරිත් පරිදි ධාන්‍ය පූජාවක් සහ පානීය පූජාවක් ද, පාප පූජාවක් සඳහා එළුවෙකු ද ඔප්පු කළ යුතු ය.</verse>
				<verse number="25">මුළු ඉශ්රායෙල් ජනතාව ම උදෙසා පූජකවරයා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ පසු ඔවුන්ගේ පව් නොදැනුවත්කමින් වූ නිසා, ඔවුන්ට කමා කරනු ඇත. එහෙත් ඒ නොදැනුවත්කම උදෙසා ගින්නෙන් දවා පුදන පඬුරු සහ ඔවුන්ගේ පාප පූජා සමිඳාණන් වහන්සේ වෙත ගෙනා යුතු ය.</verse>
				<verse number="26">මුළු සෙනඟගේ නොදැනුවත්කමින් වූ නිසා මුළු ඉශ්රායෙල් ජනතාවගේ ද, ඔවුන් අතර වසන විදේශිකයන්ගේ ද පව් කමා කරනු ලැබේ.</verse>
				<verse number="27">‘යමෙකු නොදැනුවත්කමින් පව් කළොත්, එවැන්නෙකු පාප පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති එළුදෙනක ගෙනා යුතු ය.</verse>
				<verse number="28">මෙලෙස යමෙකු නොදැනුවත්කමින් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළොත් පූජකවරයා ඔහු වෙනුවෙන් පව් කමාවේ පිළිවෙත ඉටු කළ පසු, ඔහුගේ පව් කමා කරනු ලැබේ.</verse>
				<verse number="29">නොදැනුවත්කමින් වන පව් පිළිබඳ ව මවුබිම උපන් ඉශ්රායෙල් ජනයාටත්, ඔවුන් අතර කලකට වසන විදෙශිකයන්ටත් එක ම නීතියක් වලංගු වනු ඇත.</verse>
				<verse number="30">‘ස්වදේශිකයෙක් හෝ විදේශිකයෙක් හෝ දැන දැන නීතිය කඩ කරයි නම්, එවැන්නෙකු සමිඳාණන් වහන්සේට විරුද්ධ ව දුෂ්ට අපරාධයක් කරන බැවින් ඔහු සිය සෙනඟ අතරෙන් නෙරපාදමනු ලැබේ.</verse>
				<verse number="31">ඔහු සමිඳාණන් වහන්සේගේ වචනය හෙළා දැක, උන් වහන්සේගේ ආඥා කඩ කළ බැවින්, එවැන්නෙකු සහමුලින් ම නෙරපාදමනු ඇත. ඔහුගේ දුෂ්ටකම ගැන ඔහු ම වගකිව යුතු ය.’ “</verse>
				<verse number="32">ඉශ්රායෙල් ජනයා පාළුකරයේ සිටිය දී, සබත් දින දර එකතු කළ මිනිසෙක් ඔවුන්ට සම්බ විය.</verse>
				<verse number="33">එවිට ඔව්හු මෝසෙස් සහ ආරොන් ඇතුළු ජනතාව ඉදිරියට ඒ මිනිසා ගෙනාවෝ ය.</verse>
				<verse number="34">ඔහුට කුමක් කළ යුතු ද කියා නියම ව නොතිබුණ හෙයින්, ඔව්හු ඔහු සිර අඩස්සි කළහ.</verse>
				<verse number="35">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ඒ මිනිසා මරණයට පත් කළ යුතු ය. මුළු ජනතාව ම ඔහු කඳවුරෙන් පිටතට ගෙන ගොස් ගල් ගසා මැරිය යුතු ය”යි වදාළ සේක.</verse>
				<verse number="36">උන් වහන්සේ මෝසෙස්ට වදාළ පරිදි මුළු ජනතාව ඔහු කඳවුරෙන් පිටතට ගෙන ගොස්, ඔහුට ගල් ගසා, මරාදැමූ හ.</verse>
				<verse number="37">සමිඳාණන් වහන්සේ යළි මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="38">“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ අණ කරන්න. ‘ඔවුන්ගේ මතු පරම්පරාවල සැම කෙනෙක් ම තම තමන්ගේ වස්ත්‍රවල වාටියේ දාවලු සෑදිය යුතු ය. තවද, ඒ එක එක වාටියේ දාවල්ල පිට නිල් පටියක් දැමිය යුතු ය.</verse>
				<verse number="39">නුඹලාට මේ දාවලු පෙනෙන විට, සමිඳාණන් වහන්සේගේ ආඥා සියල්ල සිහි කොට ඒවා පිළිපැදීමට සිතට ගත යුතු ය. එවිට නුඹලා මට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගත් මෙන්, නුඹලාගේ නෙත් සිත් ඇදී යන පරිදි එසේ නොකළ යුතු ය.</verse>
				<verse number="40">නුඹලා මෙය සිහි කොට, මාගේ ආඥා සියල්ල ඉටු කරමින්, නුඹලාගේ දෙවියන් වහන්සේට පමණක් කැප විය යුතු ය.</verse>
				<verse number="41">දෙවි සමිඳාණන් වහන්සේ මම ය. නුඹලාගේ දෙවියන් වන පිණිස මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනා නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම ය.’ “</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">ලෙවීගේ පුත්‍රයා කොහාත් ය; ඔහුගේ පුත්‍රයා ඉශ්හාර් ය. ඔහුගේ පුත්‍රයා වන කෝරා ද රූබන්වරුන්ගේ පුත්‍රයන් වන එලියාබ්ගේ පුත්‍රයන් වන දාතාන් සහ අබිරාම් ද පෙලෙත්ගේ පුත් ඕන් ද</verse>
				<verse number="2">ඔවුන් සමඟ ඉශ්රායෙල් ජනයා අතර සභාව කැඳවන, ජනප්‍රිය, කීර්තිමත් දෙසිය පණස්දෙනෙක් ද මෝසෙස්ට විරුද්ධ ව කැරලි ගැසූ හ.</verse>
				<verse number="3">ඔව්හු මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව එක්රැස් වෙමින්, ඒ දෙදෙනාට කතා කොට, “ඔබ දෙදෙනාගේ මහන්තත්වය පමණට වැඩි යි. මුළු ජනතාවත්, එහි සෑම දෙනෙකුත් සමිඳාණන් වහන්සේට කැප වී නැද් ද? උන් වහන්සේ ඔවුන් මැදත් වැඩ සිටින්නේ නැද් ද? එසේ නම්, නුඹලා පමණක් සමිඳාණන් වහන්සේගේ ජනතාවට ඉහළින් මහලොකුකම් පාන්නේ මන්දැ”යි ඇසූ හ.</verse>
				<verse number="4">මෙය ඇසූ මෝසෙස් මුණින්තලා වැටිණි.</verse>
				<verse number="5">ඔහු කෝරා ඇතුළු ඔහුගේ මුළු පිරිසට කතා කරමින්, “හෙට උදෑසන අප අතරෙන් සමිඳාණන් වහන්සේට කැප වූ අය උන් වහන්සේ පෙන්වන සේක. උන් වහන්සේට කැප වූ, උන් වහන්සේ තෝරාගත් තැනැත්තාට උන් වහන්සේ සමීපයට එන්නට ද සලසන සේක.</verse>
				<verse number="6">කෝරා සහ ඔහුගේ සගයෙනි, මෙය කරන්න, ඔබ හැම ධූම පාත්‍ර ගෙන</verse>
				<verse number="7">හෙට උදෑසන ඒවායේ ගිනි අඟුරු බහා, සුවඳ ද්‍රව්‍ය දමන්න. එවිට සමිඳාණන් වහන්සේ තෝරාගත්, උන් වහන්සේට කැප වූ තැනැත්තා කවරෙක් ද කියා දැනගත හැක. ලෙවීගේ වංශයේ පුත්‍රයෙනි, ඔබ හැමගේ මහන්තත්වය පමණට වැඩි”යි කීවේ ය.</verse>
				<verse number="8">මෝසෙස් තවදුරට කෝරාට කතා කරමින්, “ලෙවීගේ වංශයේ පුත්‍රයෙනි, ඔබ සැම කරුණාකර මට සවන් දෙන්න.</verse>
				<verse number="9">සමිඳාණන් වහන්සේගේ මණ්ඩපයේ සේවය කරමින් තමන් වහන්සේ ළඟට ඔබ හැම ළඟා කරගැනීමටත්, පූජකයන් වශයෙන් කටයුතු කරමින්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ මුළු ඉශ්රායෙල් ජනයා අතරෙන් ඔබ හැම වෙන් කොට ගැනීම ඔබ සුළු කොට සලකන්නහු ද?</verse>
				<verse number="10">උන් වහන්සේ තමන් ළඟට ඔබත්, ලෙවීගේ දරුපරපුර වන ඔබේ සහෝදරයන් සියලු දෙනාත් ගෙනා සේක. ඔබ හැම දැන් පූජකවරයන් සොයන්නහු ද?</verse>
				<verse number="11">එබැවින් ඔබත්, ඔබේ මුළු පිරිසත් පෙරමුණු බැඳ ඇත්තේ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව බව දැනගන්න. ආරොන්ට විරුද්ධ ව මැසිවිලි කීමට තරම් ඔහු කවරෙක් දැ”යි ඇසී ය.</verse>
				<verse number="12">ඉන්පසු මෝසෙස්, එලියාබ්ගේ පුත්‍රයන් වන දාතාන් සහ අබිරාම් කැඳවූ විට, ඔව්හු පිළිතුරු දෙමින්, “අපි නො එමු.</verse>
				<verse number="13">මේ පාළුකරයේ අප මරා දමනු පිණිස, කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන රටකින් අප පිටතට ගෙන ඒමෙන් ඔබ කෙළේ සුළු අපරාධයක් ද? දැන් ඔබට උවමනා වී ඇත්තේ අප පාලනය කරන්නට ද?</verse>
				<verse number="14">ඇත්තට ම ඔබ නම් අපට කිරි සහ මී පැණි ඉතිරෙන රටකට අප නොගෙනාවෙහි ය. කෙත් සහ මිදි වතු අපට උරුම කොට නුදුන්නෙහි ය. මේ මිනිසුන්ට යථා තත්ත්වය නොපෙනේ ය කියා ඔබ හිතන්නෙහි ද? අපි නම් නොඑන්නෙමු”යි කීවෝ ය.</verse>
				<verse number="15">මෝසෙස් ද එවිට තදින් රොස් වී සමිඳාණන් වහන්සේ අමතමින්, “ඔබ ඔවුන්ගේ පඬුරු නොපිළිගනු මැනවි. මම නම්, ඔවුන්ගෙන් කිසිවෙකුට නපුරක් නොකෙළෙමි. ඔවුන්ගේ කොටළුවෙකු වත් නොගතිමි”යි කී ය.</verse>
				<verse number="16">මෝසෙස් කෝරාට කතා කොට, “හෙට ඔබත්, ඔබගේ මුළු පිරිසත් සමිඳාණන් වහන්සේ ඉදිරියට ආ යුතු ය. ආරොන් ද එහි එනු ඇත.</verse>
				<verse number="17">තවද, සැම කෙනෙක් ම තම තමාගේ ධූම පාත්‍රය රැගෙන, ඒවායේ සුවඳ ද්‍රව්‍ය දමා, සමිඳාණන් වහන්සේ ඉදිරියට ඒ ධූම පාත්‍ර ද ගෙන ආ යුතු ය. මෙලෙස එහි ධූම පාත්‍ර දෙසිය පණහක් වනු ඇත. ආරොන් ද සිය ධූම පාත්‍රය ගෙන ආ යුතු ය”යි කී ය.</verse>
				<verse number="18">සියල්ලෝ ම තම තමන්ගේ ධූම පාත්‍ර රැගෙන ඒවායේ ගිනි අඟුරු බහා, ඒ මත සුවඳ ද්‍රව්‍ය දමා, මෝසෙස් සහ ආරොන් සමඟ සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සිටගත්හ.</verse>
				<verse number="19">ඔවුන්ට මූණ ලා සිටින පරිදි, කෝරා තම මුළු පිරිස සම්මුඛ මණ්ඩපයේ දොරකඩට එක්රැස් කොට ගත්තේ ය. එවිට මුළු ජනතාවට ම සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය දර්ශනය විය.</verse>
				<verse number="20">උන් වහන්සේ මෝසෙස්ට සහ ආරොන්ට කතා කොට,</verse>
				<verse number="21">“සැණෙකින් මා මොවුන් වනසාලන්නට යන බැවින් මේ ජනතාවගෙන් අහකට යන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="22">ඔව්හු ද මුණින්තළා වැටී, “අහෝ දෙවිඳුනි! සකල සත්ත්වයන්ට ජීවනය දෙන දෙවිඳුනි, එක මිනිසෙකුගේ පාපයට, ඔබ මුළු ජනතාවට ම එරෙහි ව රොස් වන සේක් දැ”යි ඇසූ හ.</verse>
				<verse number="23">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට උත්තර දෙමින්,</verse>
				<verse number="24">“මේ සෙනඟට කතා කොට: ‘කෝරාගේ ද දාතාන්ගේ ද අබිරාම්ගේ ද කූඩාරම්වලින් අහකට යන්න’ කියා කියන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="25">මෝසෙස් නැඟිට ඉශ්රායෙල් ජනයාගේ ප්‍රජා මූලිකයන් සමඟ දාතාන් සහ අබිරාම් වෙත ගියේ ය.</verse>
				<verse number="26">මෙසේ ගොස්, ඔහු සෙනඟට කතා කොට, “කරුණාකර මේ අදමිටුන්ගේ කූඩාරම්වලින් අහකට යන්න. ඔවුන් සතු කිසිවකට අත නොතබන්න. එසේ කළොත් ඔවුන්ගේ පාපයන් නිසා නුඹලාත් වැනසෙනු ඇතැ”යි කීවේ ය.</verse>
				<verse number="27">එවිට ඔව්හු කෝරා, දාතාන් සහ අබිරාම් යන අයගේ කූඩාරම්වලින් අහකට ගියහ. දාතාන් සහ අබිරාම් පිටතට අවුත්, තමන්ගේ භාර්යාවන්, පුත්‍රයන් සහ සිඟිත්තන් සමඟ තම කූඩාරම්වල දොරකඩ සිටගත්හ.</verse>
				<verse number="28">මෝසෙස් කතා කොට, “මේ කාරණා ඉටු කිරීමට සමිඳාණන් වහන්සේ මා එවූ බව නුඹලා මෙයින් දැනගන්නහු ය. මේවා කරන්නේ මාගේ ම බලයකින් නොවේ.</verse>
				<verse number="29">සියල්ලන්ට පොදු වූ මරණයට මේ මිනිසුන් පාත්‍ර වී, පොදු ඉරණමට ලක් වූවොත්, සමිඳාණන් වහන්සේ මා නො එවූ සේක.</verse>
				<verse number="30">එහෙත්, උන් වහන්සේ අමුතු දෙයක් කරමින්, භූමියේ කට අයා ඔවුන් ද ඔවුන් සතු සියල්ල ද ගිලගෙන පාතාලයට ඔවුන් පණපිටින් වැටෙන්නට සැලැස්සුවොත්, මේ මිනිසුන් උන් වහන්සේ ප්‍රතික්ෂේප කළ බව නුඹලා දැනගත යුතු ය”යි කීවේ ය.</verse>
				<verse number="31">මේ වචන සියල්ල පවසා නිම වූ විගස, ඔවුන් සිටගෙන උන් තැන පැළිණි.</verse>
				<verse number="32">භූමිය කට අයා ගත්තේ ය. ඔවුනුත්, නිවාසත්, කෝරාගේ සියලු පිරිසත්, සකල සම්පතත් භූමිය ගිලදැමී ය.</verse>
				<verse number="33">ඔව්හුත්, ඔවුන් සතු සියලු දෙනත් පණපිටින් ම පාතාලයට කිඳා ගියෝ ය. මිහිතලය ඔවුන් වසාගත්තා ය. සෙනඟ අතරෙන් ඔව්හු වැනසී ගියහ,</verse>
				<verse number="34">ඔවුන්ගේ මොරගැසීම ඇසූ, අවට සිටි ඉශ්රායෙල් ජනයා, “මෙහි සිටියොත් පොළොව අප ද ගිලගන්නට පුළුවනැ”යි කියමින් එතැනින් පැන ගියහ.</verse>
				<verse number="35">ඉන්පසු සමිඳාණන් වහන්සේ එවූ ගින්නක් සුවඳ දුම් පිදූ මිනිසුන් දෙසිය පණස්දෙන දවාදැමී ය.</verse>
				<verse number="36">එකල සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,</verse>
				<verse number="37">“පූජක ආරොන්ගේ පුත් එලෙයාසර්ට, ‘අළු මැදින් ධූම පාත්‍ර ඉවතට ගෙන ගිනි අඟුරු අහකට හළා දමන්නැ’යි කියන්න. මන්ද ඒවා ශුද්ධ ය.</verse>
				<verse number="38">සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් ඒවායින් පිදූ බැවින් ඒවා ශුද්ධ ය. එබැවින් හෘදය සාක්ෂියට විරුද්ධ ව පව් කළ මේ අයගේ ධූම පාත්‍ර ගෙන, පූජාසනය වැසීම සඳහා ඒවා පැතලි තහඩුවලට තැළිය යුතු ය. ඒවා ඉශ්රායෙල් ජනයාට ලකුණක් වනු ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="39">පූජක එලෙයාසර් දැවී ගිය අය පිදූ ලෝකඩ ධූම පාත්‍ර රැගෙන, පූජාසනය වැසීම සඳහා ඒවායින් පැතලි තහඩු සෑදී ය.</verse>
				<verse number="40">එසේ කෙළේ ආරොන්ගේ වංශයට අයිති නැති අන් කෙනෙකු සමිඳාණන් වහන්සේ ඉදිරියට සුවඳ දුම් පිදීම සඳහා ළඟා නොවිය යුතු බව සිහිගැන්වීමේ සිද්ධිය ඉශ්රායෙල් ජනයාට අනුස්මරණයක් වීම සඳහා ය. යමෙකු එසේ කළොත්, කෝරාට සහ ඔහුගේ පිරිසට වූ දේ ඔහුටත් වනු ඇත. මේ සියල්ල සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් එලෙයාසර්ට වදාළ පරිදි ඉටු විය.</verse>
				<verse number="41">පසු දින මුළු ඉශ්රායෙල් ජනතාව මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව මැසිවිලි දොඩමින්, “ඔබ දෙදෙන සමිඳාණන් වහන්සේගේ සෙනඟ මරාදැමුවහු ය”යි කී හ.</verse>
				<verse number="42">ජනතාව මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව එක්රැස් වී සම්මුඛ මණ්ඩපය දෙස නෙත් යොමා බැලූ හ. පුදුමයකි, වලාකුළකින් එය වැසී තිබිණි. සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය ද දර්ශනය විය.</verse>
				<verse number="43">මෝසෙස් සහ ආරොන් සම්මුඛ මණ්ඩපය ඉදිරියට පැමිණියහ.</verse>
				<verse number="44">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කරමින්,</verse>
				<verse number="45">“සැණෙකින් මම මොවුන් වනසාලන්නට යමි. එබැවින් මේ ජනතාවගෙන් ඉවතට යන්නැ”යි වදාළ සේක. ඔව්හු මුණින්තලා වැටුණාහ.</verse>
				<verse number="46">මෝසෙස් ආරොන්ට කතා කොට, “ඔබේ ධූම පාත්‍රය ගෙන, පූජාසනයේ ගින්දර රැගෙන එහි බහා, සුවඳ ද්‍රව්‍ය දමා, කඩිනමින් සෙනඟ අතරට ගොස්, ඔවුන් උදෙසා පව් කමාවේ පිළිවෙත ඉටු කරන්න. සමිඳාණන් වහන්සේ රොස් වී සිටින සේක. වසංගතයක් බෝවේගෙන එන්නේ ය”යි පැවසී ය.</verse>
				<verse number="47">ආරොන් මෝසෙස් අණ කළ පරිදි ධූම පාත්‍රය රැගෙන ජනතාව මැදට ගියේ ය. සෙනඟ අතර වසංගතය පැතිරී යන බව දුටු විට, ඔහු සුවඳ ද්‍රව්‍ය ධූම පාත්‍රයට දමා සෙනඟ උදෙසා පව් කමාවේ පිළිවෙත ඉටු කෙළේ ය.</verse>
				<verse number="48">මෙසේ මළවුන් හා ජීවතුන් මැද ඔහු සිටගත් කල වසංගතය නැවතිණි.</verse>
				<verse number="49">කෝරාගේ කැරලි ගැසීමෙන් නැසුණු අය හැරුණ විට වසංගතයෙන් නැසුණු අයගේ ගණන දහහතරදාස් හත්සියයක් විය.</verse>
				<verse number="50">වසංගතය පැතිරීම නැවතුණු පසු, ආරොන් සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සිටි මෝසෙස් වෙත ආපසු ගියේ ය.</verse>
			</chapter>
			<chapter number="17">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,</verse>
				<verse number="2">“ඉශ්රායෙල් ජනයා අමතා ඔවුන්ගේ පිය පෙළපත් අනුව, ගෝත්‍රවල මූලිකයන් එක් එක්කෙනාගෙන් එක බැගින්, සැරයටි දොළසක් ඔවුන්ගෙන් ගෙන නුඹ ඒවායේ එක් එක්කෙනාගේ නම් සටහන් කරන්න.</verse>
				<verse number="3">ලෙවීගේ ගෝත්‍රය වෙනුවෙන් ඇති සැරයටියේ ආරොන්ගේ නම ලියන්න. පිය පෙළපත් අනුව එක ගෝත්‍ර නායකයෙකුට එක සැරයටියක් බැගින් තිබිය යුතු ය.</verse>
				<verse number="4">සම්මුඛ මණ්ඩපයේ නුඹට මා හමු වන ගිවිසුම් කරඬුව අබිමුව නුඹ ඒවා තැබිය යුතු ය.</verse>
				<verse number="5">මම යමෙකු තෝරාගන්නෙම් ද ඔහුගේ සැරයටියෙහි දලු ලියලන්නේ ය. නුඹට විරුද්ධ ව මැසිවිලි දොඩවන ඉශ්රායෙල් ජනයාගේ මැසිවිලි මා වෙත පැමිණීම මම මෙයින් නවතාලන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="6">මෝසෙස් මේ කරුණ ඉශ්රායෙල් ජනයාට සැළ කළ විට, ඔවුන්ගේ ගෝත්‍ර මූලිකයෝ, පිය පෙළපත් අනුව එක එක ගෝත්‍රයට එක බැගින්, සැරයටි දොළසක් ඔහුට දුන්නෝ ය. ආරොන්ගේ සැරයටිය ද ඒවා අතර විය.</verse>
				<verse number="7">ඉන්පසු මෝසෙස් ගිවිසුම් කරඬුව තැබූ සම්මුඛ මණ්ඩපය තුළ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඒවා තැබී ය.</verse>
				<verse number="8">පසු දින මෝසෙස් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වූ විට පුදුමයකි, ලෙවීගේ ගෝත්‍රය වෙනුවෙන් තිබූ ආරොන්ගේ සැරයටිය ලියලා තිබිණි. එහි මොට්ටු හටගෙන මල් පිපී, ඉදුණු කොට්ටම්බා ඇති විය.</verse>
				<verse number="9">මෝසෙස් සමිඳාණන් වහන්සේ ඉදිරිපිටින් සැරයටි සියල්ල ඉශ්රායෙල් ජනයා වෙත පිටතට ගෙනාවේ ය. ඔව්හු ඒවා බලා, තම තමන්ගේ සැරයටි ගත්තෝ ය.</verse>
				<verse number="10">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “කැරලිකාරයන් මට විරුද්ධ ව මැසිවිලි දෙඩීම නවත්වන්නේ නැත් නම්, ඔවුන් නසින බවට සලකුණක් වශයෙන් ආරොන්ගේ සැරයටිය සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියට යළි ගෙනෙන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="11">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔහු ඉටු කෙළේ ය.</verse>
				<verse number="12">ඉශ්රායෙල් ජනයා මෝසෙස්ට කතා කොට, “ඔන්න, අපි විනාශයි, අපි ඉවරයි, අපි සියල්ලෝ ම නැතිනාස්ති වී ඉවරයි.</verse>
				<verse number="13">සමිඳාණන් වහන්සේගේ කූඩාරමේ කිසි ම බඩුවක් ළඟට යන්නේ කවරෙක් ද, ඔහුට මරණය නියත ය. අනේ! අපේ අවසානය මෙය දැ”යි ඇසූ හ.</verse>
			</chapter>
			<chapter number="18">
				<verse number="1">සමිඳාණන් වහන්සේ ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹ ද නුඹේ දරුවන් ද නුඹේ පවුලේ අය ද ශුද්ධස්ථානයේ කෙරෙන වැරදි පිළිබඳ ව වගකිව යුතු ය. නුඹේ පූජකවරයට විරුද්ධ ව කෙරෙන වැරදි පිළිබඳ ව ද නුඹත්, නුඹේ දරුවනුත් වගකිව යුතු ය.</verse>
				<verse number="2">නුඹ සමඟ සේවය කරමින්, නුඹට උදව් උපකාර කිරීමට නුඹේ පිය ගෝත්‍රය වන ලෙවීගේ ගෝත්‍රයට අයත් නුඹේ සහෝදරයන් ද නුඹ කැඳවාගත යුතු ය. එහෙත්, සම්මුඛ මණ්ඩපය ඉදිරිපිට නුඹත්, නුඹේ දරුවනුත් පමණක් සේවය කළ යුතු ය.</verse>
				<verse number="3">නුඹ කෙරෙහි තිබෙන වගකීම් ද සම්මුඛ මණ්ඩපයට අදාළ ඔවුන්ගේ වගකීම් ද ඉටු කළ යුතු ය. එහෙත්, ඔවුන් ශුද්ධස්ථානයේ සහ පූජාසනයේ බඩු භාණ්ඩවලට කිට්ටු නොවිය යුතු ය. ඔවුන් එසේ කළොත් ඔවුනුත්, නුඹත් මරණයට පත් කරනු ඇත.</verse>
				<verse number="4">ඔවුන් නුඹට උදව් උපකාර වෙමින්, සම්මුඛ මණ්ඩපයේ සේවාවන් පිළිබඳ වගකීම ඉටු කළ යුතු ය. එහෙත්, අන් කෙනෙකු නුඹට උදව් නොකළ යුතු ය.</verse>
				<verse number="5">නුඹලා ශුද්ධස්ථානය හා පූජාසනය පිළිබඳ වගකීම භාරගත යුතු ය. එවිට ඉශ්රායෙල් ජනයාට විරුද්ධ ව මින්මතු මම රොස් නොවන්නෙමි.</verse>
				<verse number="6">මෙන්න, ඉශ්රායෙල් ජනයා අතරෙන් නුඹේ සොහොයුරන් වන ලෙවීවරුන් තෝරාගෙන නුඹට තිළිණයක් වශයෙන් ඔවුන් දුන්නේ මම ය. ඔවුන් මට කැප වී ඇති බැවින්, සම්මුඛ මණ්ඩපයේ සේවය ඉටු කළ යුතු ය.</verse>
				<verse number="7">පූජාසනයට හා අතිශුද්ධස්ථානයට සම්බන්ධ පූජක නිල සේවාවන් නුඹත්, නුඹේ පුත්‍රයනුත් ඉටු කළ යුතු ය. මෙය නුඹලාගේ වගකීම ය. නුඹට මා පූජක නිලය පැවරුයේ තිළිණයක් වශයෙනි. ශුද්ධ බඩු භාණ්ඩ ළඟට අන් කෙනෙකු සමීප වුවහොත් ඔහු මරා දමනු ලැබේ.”</verse>
				<verse number="8">සමිඳාණන් වහන්සේ ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක: “බලන්න, ඉශ්රායෙල් ජනයා පුදන පූජාවලින් විශේෂ කොටසක් නුඹට උරුම කොට මම වෙන් කෙළෙමි. ඒවා සියල්ල ම මම නුඹටත්, නුඹේ දරුවන්ටත් සදහට ම වලංගු නියෝගයකින් ප්‍රදානය කරන්නෙමි.</verse>
				<verse number="9">ගින්නෙන් නොදවා පුදන අතිශුද්ධ පූජාවලින් නුඹලාට හිමි කොටස මෙය වනු ඇත. ඔවුන් මට පූජා කරන සෑම ධාන්‍ය පූජාවක් ම, පාප පූජාවක් ම, වන්දි ගෙවීමේ පූජාවක් ම නුඹටත්, නුඹේ දරුවන්ටත් අතිශුද්ධ වනු ඇත.</verse>
				<verse number="10">අතිශුද්ධස්ථානයක එය වැළඳිය යුතු ය. සෑම පිරිමියෙකුට ද ඉන් වැළඳීමට අවසර ඇත. එය ශුද්ධ දෙයක් සේ සැලකිය යුතු ය.</verse>
				<verse number="11">“ඉශ්රායෙල් ජනයා පුදන පඬුරුවලින් පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කළ පසු ඒවායින් විශේෂ කොටසක් ද නුඹට හිමි වනු ඇත. මම ඒවා නුඹටත්, නුඹේ දරුදැරියන්ටත් සදහට ම වලංගු නියෝගයකින් දානය කොට ඇත්තෙමි. නුඹේ ගෙදර පවිත්‍ර ව සිටින සැම කෙනෙකුට ම ඉන් වැළඳිය හැකි ය.</verse>
				<verse number="12">“ඔවුන් මට පුදන ඉතා අගනා තෙල් ද ඉස්තරම් මිදිපැන් ද හොඳ ම ධාන්‍ය සහ ඉතා වටිනා නාඹුල් පල ද මම නුඹට දෙන්නෙමි.</verse>
				<verse number="13">පොළොවේ හටගත්, සමිඳාණන් වහන්සේ වෙත ගෙනෙන පළමු අස්වැන්න නුඹට අයිති වේ. ගෙදර පවිත්‍ර ව සිටින සෑම කෙනෙකුට ම ඉන් වැළඳිය හැකි ය.</verse>
				<verse number="14">“ඉශ්රායෙල් ජනයා අතර කැප වූ සෑම දෙයක් ම නුඹට අයිති වේ.</verse>
				<verse number="15">“ඔවුන් සමිඳාණන් වහන්සේට පුදන මිනිසුන්ගේ හෝ මෘගයන්ගේ හෝ කුලුඳුලන් සියලු දෙනා නුඹට අයිති වෙත්. එහෙත්, කුලුඳුල් පුතෙක් නම් මුදාගත යුතු වේ. එලෙස ම අපවිත්‍ර යයි සැලකෙන කුලුඳුල් සතුන්ගේ පැටියන් ද මුදාගත යුතු ය.</verse>
				<verse number="16">මුදාගත යුතු වූවන්ට මසක් ගිය පසු නුඹ ඔවුන් මුදාගත යුතු ය. එසේ කිරීමේ දී නුඹේ නියමය හැටියට ශුද්ධස්ථානයේ මිල අනුව, රිදී කාසි පහක් ගෙවිය යුතු ය. රිදී කාසියක් නම් ගේරා විස්සකි.</verse>
				<verse number="17">එහෙත්, එළදෙනකගේ හෝ බැටළු දෙනකගේ හෝ එළුදෙනකගේ හෝ කුලුඳුල් පැටියෙකු මුදා නොගත යුතු ය. උන් මට කැප ය. පූජාසනය මත උන්ගේ ලේ ඉස උන්ගේ තෙල දැවිය යුතු ය. එය සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් සහිත ගින්නෙන් දවා පිදූ පූජාවක් වනු ඇත.</verse>
				<verse number="18">උන්ගේ මස් ද ළපැත්ත සහ දකුණු ගාතය ද නුඹේ ය.</verse>
				<verse number="19">“ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට පුදන ශුද්ධ පඬුරුවල විශේෂ කොටස් සියල්ල ම මම නුඹටත්, නුඹේ දරුදැරියන්ටත් සදහට ම වලංගු නියෝගයකින් ප්‍රදානය කෙළෙමි. මෙය වනාහි සමිඳාණන් වහන්සේ වන මම නුඹත්, නුඹේ පෙළපතත් සමඟ ගිවිසගත් සදහට ම වලංගු වන හෙවත් නොකැඩෙන ගිවිසුමක් ය.”</verse>
				<verse number="20">සමිඳාණන් වහන්සේ නැවතත් ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක: “ඔවුන්ගේ දේශයෙහි නුඹට උරුමයක් වශයෙන් හිමි වන ඉඩකඩම් නොවනු ඇත. එහි කිසි ම කොටසක් නුඹට නොපවරනු ඇත. ඉශ්රායෙල් ජනයා අතර නුඹේ කොටසත්, නුඹේ උරුමයත් මම වෙමි.”</verse>
				<verse number="21">“තවද, ඉශ්රායෙල් ජනයා මට පුදන සෑම දෙයින් ම දසයෙන් කොටස, මම උරුමයක් වශයෙන් ලෙවීගේ දරුපරපුරට දිනිමි. එය ඔවුන්ට දෙනුයේ, සම්මුඛ මණ්ඩපය තුළ ඔවුන් ඉටු කරන සේවාව සඳහා ය.</verse>
				<verse number="22">මින් ඉදිරියට ඉශ්රායෙල් ජනතාව සම්මුඛ මණ්ඩපයට ළඟා නොවිය යුතු ය. එසේ කළොත්, ඔවුන් පව් කරන බැවින් මැරෙනු ඇත.</verse>
				<verse number="23">ලෙවීවරුන් සම්මුඛ මණ්ඩපය තුළ සේවය කරමින්, එහි සම්පූර්ණ වගකීම ඉසිලිය යුතු ය. මෙය ඔවුන්ගේ පෙළපතට සදහට ම වලංගු නියෝගයකි. ඉශ්රායෙල් ජනයා අතර ඔවුන්ට උරුම වන ඉඩකඩම් නොවනු ඇත.</verse>
				<verse number="24">මන්ද, ඉශ්රායෙල් ජනයා මට පුදන විශේෂ පඬුරුවලින් දසයෙන් කොටස මා ලෙවීවරුන්ට උරුම කොට දී තිබේ. ඉශ්රායෙල් ජනයා අතර කිසි උරුමයක් ඔවුන්ට නොලැබෙන්නේ ය කියා මා ඔවුන්ට කීවේ ඒ නිසා ය.”</verse>
				<verse number="25">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="26">“ලෙවීවරුන්ට කතා කොට මෙය කියන්න: ‘නුඹලාට උරුම කොට දුන් දසයෙන් කොටස නුඹලා ඉශ්රායෙල් ජනයාගෙන් ගන්න විට, එයිනුත් දසයෙන් කොටසක් විශේෂ පඬුරක් වශයෙන් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය.</verse>
				<verse number="27">කමතේ ධාන්‍ය ප්‍රමාණයට නැතහොත් මිදි පැසේ මිදිපැන්වල ප්‍රමාණයට නුඹේ විශේෂ පඬුරු ද තක්සේරු කළ යුතු ය.</verse>
				<verse number="28">නුඹලා මෙලෙස ඉශ්රායෙල් ජනයා අතින් ගන්න දසයෙන් කොටසින් විශේෂ පඬුරක් සමිඳාණන් වහන්සේට පූජා කළ යුතු ය. තවද, උන් වහන්සේගේ ඒ කොටස පූජක ආරොන්ට දිය යුතු ය.</verse>
				<verse number="29">නුඹලා සමිඳාණන් වහන්සේට පූජා කරන විශේෂ පඬුරු සියල්ලෙන් ඉස්තරම් කොටස උන් වහන්සේට කැප කොට පිදිය යුතු ය.’</verse>
				<verse number="30">තවද, නුඹ ලෙවීවරුන්ට මෙසේ කිව යුතු ය: ‘නුඹලා පඬුරුවලින් ඉස්තරම් කොටස සමිඳාණන් වහන්සේට පූජා කළ පසු, ඉන් ඉතිරි කොටස, කමතේ ඉතිරි ධාන්‍ය මෙන් ද, මිදිපැසේ ඉතිරි මිදිපැන් මෙන් ද නුඹලාට අයිති වනු ඇත.</verse>
				<verse number="31">නුඹලාටත්, නුඹලාගේ ගෘහ වාසීන්ටත් එය කැමැති තැනක දී වැළඳිය හැකි ය. සම්මුඛ මණ්ඩපය තුළ නුඹලා ඉටු කරන සේවයට ලැබෙන ගෙවිල්ල එය වේ.</verse>
				<verse number="32">නුඹලා ඉස්තරම් ම කොටස සමිඳාණන් වහන්සේට පූජා කළහු නම්, එය වැළඳීමෙන් පාපයක් නොවනු ඇත. තවද, නුඹලා ඉශ්රායෙල් ජනයාගේ ශුද්ධ පඬුරු නොකෙලෙසිය යුතු ය. ඒවා කෙලෙසුවහොත් නසිනු ඇත.’ “</verse>
			</chapter>
			<chapter number="19">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට සහ ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“ස්වාමීන් වන මා පහත දක්වන ව්‍යවස්ථානුකූල නීතිය පණවා ඇති බැවින් ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙය කියන්න. ‘ඔවුන් ලප හෝ කැළැල් හෝ නැති, වියගහ නොදැරූ රතු වැස්සියක නුඹ වෙත ගෙනා යුතු ය.</verse>
				<verse number="3">නුඹ ඒ සතා පූජක එලෙයාසර්ට භාර දිය යුතු ය. ඌ කඳවුරෙන් පිටත ගෙන ගිය පසු, ඔහු ඉදිරියෙහි දී ම කෙනෙකු වැස්සිය මැරිය යුතු ය.</verse>
				<verse number="4">ඉන්පසු එලෙයාසර් තම ඇඟිල්ලෙන් උගේ ලේ ටිකක් සම්මුඛ මණ්ඩපය දිශාවට හත් වරක් ඉසිය යුතු ය.</verse>
				<verse number="5">තවද, ඔහු ඉදිරිපිට දී ම කෙනෙකු උගේ හම, මාංසය, ලෙය සහ ගොම පිළිස්සිය යුතු ය.</verse>
				<verse number="6">පූජකවරයා ම කිහිරි ගහෙන් දර කෑලි ද හිසොප් නම් පැළ ද රතු රෙදි කඩක් ද ගෙන වැස්සී දැවෙන ගින්න මැදට දැමිය යුතු ය.</verse>
				<verse number="7">ඉන්පසු පූජකවරයා තම ඇඳුම් සෝදා, ජලස්නානය කොට, කඳවුර තුළට ආ යුතු ය. එහෙත්, ඔහු හවස දක්වා අපවිත්‍ර යැයි සැලකේ.</verse>
				<verse number="8">ඒ සතා ගින්නේ පිළිස්සූ තැනැත්තා ද වතුරෙන් තම ඇඳුම් සෝදා ජලස්නානය කළ යුතු ය. ඔහු ද හවස දක්වා අපවිත්‍ර යැයි සැලකේ.</verse>
				<verse number="9">ඉන්පසු වත්පිළිවෙත් අනුව පවිත්‍ර යැයි සැලකෙන මිනිසෙකු වැස්සීගේ අළු එකතු කර, කඳවුරෙන් පිටත පවිත්‍ර තැනක තැබිය යුතු ය. ඉශ්රායෙල් ජනතාවට, තමන්ගේ පව්වලින් පවිත්‍ර වීම සඳහා, අපවිත්‍රකම පහකරන ජලය පිළියෙළ කිරීමට ඒ අළු ආරක්ෂා කොට තැබිය යුතු ය.</verse>
				<verse number="10">වැස්සීගේ අළු එකතු කළ තැනැත්තා ද තම ඇඳුම් සෝදාගත යුතු ය. ඔහු ද හවස දක්වා අපවිත්‍ර යැයි සැලකේ. මෙම නියෝගය ඉශ්රායෙල් ජනයා සඳහා ද ඔවුන් අතර කලකට වසන විදේශිකයන් සඳහා ද සදහට ම වලංගු වනු ඇත.</verse>
				<verse number="11">“ ‘යමෙකුගේ මෘත ශරීරය ස්පර්ශ කරන තැනැත්තා සත් දිනක් අපවිත්‍ර ව සිටියි.</verse>
				<verse number="12">ඔහු තුන් වන දින හා සත් වන දින පවිත්‍ර වීමේ ජලයෙන් තමා පවිත්‍ර කරගත් විට ඔහු පවිත්‍ර වනු ඇත. එහෙත්, තුන් වන දින තමා පවිත්‍ර නොවුවොත් සත් වන දින ඔහු පවිත්‍ර ය යි නොසැලකේ.</verse>
				<verse number="13">යමෙක් යමෙකුගේ මෘත ශරීරයක් ස්පර්ශ කොට තමා පවිත්‍ර කර නොගනී නම්, ඒ තැනැත්තා සමිඳාණන් වහන්සේගේ කූඩාරම කෙලෙසනු ඇත. එවැන්නෙකු ඉශ්රායෙල් ජනයා වෙතින් නෙරපාදැමිය යුතු ය. පවිත්‍ර වීමේ ජලය ඔහුට නොඉස්ස බැවින්, ඔහු අපවිත්‍ර ය. අපවිත්‍රතාව ඔහුට තිබේ ය යි සැලකෙනු ඇත.</verse>
				<verse number="14">“ ‘යමෙකු කූඩාරමක මළොත්, එවිට වලංගු නීතිය මේ ය: කූඩාරමට ඇතුළු වන සියල්ලන් හා එහි සිටින සියල්ලෝ හත් දිනකට අපවිත්‍ර ය.</verse>
				<verse number="15">වැස්මක් නැති ව, ඇර තිබූ භාජන සියල්ල අපවිත්‍ර ය.</verse>
				<verse number="16">එලෙස ම යමෙකු එළිමහනේ කඩුවකින් මරාදැමූ කෙනෙකු හෝ මෘත ශරීරයක් හෝ මිනිසෙකුගේ ඇටකටුවක් හෝ සොහොනක් හෝ ස්පර්ශ කළොත් ඔහු දින හතකට අපවිත්‍ර ය.</verse>
				<verse number="17">“ ‘මෙලෙස අපවිත්‍ර කෙනෙකු සඳහා, පාපයෙන් පවිත්‍ර වීමට පිළිස්සූ වැස්සියගේ අළු ගෙන, භාජනයකට දමා පිරිසිදු ජලය වත් කළ යුතු ය.</verse>
				<verse number="18">ඉන්පසු පවිත්‍ර යයි සැලකෙන යමෙකු, හිසොප් කිනිත්තක් ගෙන, වතුරේ පොඟවා කූඩාරමට ද එහි බඳුන් සියල්ලට ද එහි සිටි සියල්ලන්ට ද ඇටකටුවක් හෝ මරණ ලද කෙනෙකු හෝ මෘත ශරීරයක් හෝ සොහොනක් හෝ ස්පර්ශ කළ තැනැත්තාට ද ඉසිය යුතු ය.</verse>
				<verse number="19">තුන් වන හා හත් වන දින පවිත්‍ර තැනැත්තා අපවිත්‍ර තැනැත්තාට මෙසේ දිය ඉසිය යුතු ය. හත් වන දින, ඔහු තමා ම පවිත්‍ර කරගනිමින් නාගෙන, ඇඳුම් සෝදාගත් විට, ඒ දින සවස පවිත්‍ර යයි සැලකෙනු ඇත.</verse>
				<verse number="20">“ ‘අපවිත්‍ර යමෙක් තමා ම පවිත්‍ර කර නොගනී නම්, එවැන්නෙක් ජනතාව වෙතින් නෙරපාදමනු ලැබේ. මන්ද, ඔහු සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානය කෙලෙසූ බැවිනි. අපවිත්‍ර වීම පහකරන ජලය ඔහුට ඉස නැත. ඔහු අපවිත්‍ර ය.</verse>
				<verse number="21">මෙය නුඹලාට සදහට ම වලංගු නියෝගයකි. අපවිත්‍ර වීම පහකරන ජලය ඉහින තැනැත්තා තම ඇඳුම් සෝදාගත යුතු ය. ඒ ජලය ස්පර්ශ කරන තැනැත්තා හවස දක්වා අපවිත්‍ර යයි සැලකිය යුතු ය.</verse>
				<verse number="22">අපවිත්‍ර යමෙක් යමක් ස්පර්ශ කරයි ද, ඒ දේ අපවිත්‍ර වනු ඇත. ඒ දේ ස්පර්ශ කරන තැනැත්තා ද සවස දක්වා අපවිත්‍ර යයි සැලකිය යුතු ය.’ “</verse>
			</chapter>
			<chapter number="20">
				<verse number="1">පළමු වන මාසයේ දී මුළු ඉශ්රායෙල් ජනතාව ශීන් නම් පාළුකරයට ඇතුළු වී කාදෙෂ් නම් ස්ථානයේ නවාතැන් ගත්හ. එහි දී මීරියම් මරණයට පත් වූයෙන්, ඈ භූමදාන කෙරිණි.</verse>
				<verse number="2">ජනතාවට එහි ජලය නොතිබුණු බැවින් ඔව්හු මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව එක්රැස් වී</verse>
				<verse number="3">මෝසෙස්ට අභියෝග කරමින්, “සමිඳාණන් වහන්සේ ඉදිරිපිට අපේ සොහොයුරන් නැසුණු විට අපිත් නැසුණෙමු නම් කෙතරම් හොඳ ද?</verse>
				<verse number="4">ඔබ දෙදෙන සමිඳාණන් වහන්සේගේ සෙනඟ මේ පාළුකරයට ගෙනාවේ මන් ද? අපත් අපේ ගවමහිෂයනුත් මරාදමන්නට ද?</verse>
				<verse number="5">ඔබ දෙදෙන මිසරයෙන් පිටතට අප ගෙනාවේ මන් ද? මේ කාලකණ්ණි තැනට අප ගෙනෙන්නට ද? මෙතැන ධාන්‍යයටත්, අත්තික්කාවලටත්, මිදිවලටත්, දෙළුම් ගස්වලටත් තැනක් නොවේ. ඒ මදිවාට බොන්නට වතුරත් නැතැ”යි කී හ.</verse>
				<verse number="6">එවිට මෝසෙස් සහ ආරොන් සෙනඟගෙන් ඉවත් ව, සම්මුඛ මණ්ඩපයේ දොරකඩට ගොස් මුණින්තලා වැටුණාහ. සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය ඔවුන්ට දර්ශනය විය.</verse>
				<verse number="7">සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්,</verse>
				<verse number="8">“නුඹේ සැරයටිය ගෙන නුඹත්, නුඹේ සොහොයුරු ආරොනුත් ජනතාවත් එකට රැස් කරන්න. එසේ රැස් කොට, ඔවුන්ට පෙනෙන අර පර්වතයට අණ කරන්න. ඉන් වතුර ගලා යනු ඇත. නුඹ පර්වතයෙන් ගලා යන ඒ වතුර ඔවුන්ට දිය යුතු ය. මෙසේ සෙනඟටත්, ඔවුන්ගේ සතුන්ටත් බොන්නට වතුර ලැබෙනු ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="9">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ඔහු උන් වහන්සේ ඉදිරිපිටින් සැරයටිය ගත්තේ ය.</verse>
				<verse number="10">ඔවුන් දෙදෙන පර්වතය ඉදිරිපිට ජනතාව එක්රැස් කළහ. ඉන්පසු මෝසෙස් ඔවුන් අමතමින්, “දැන් ඉතින්, කැරලිකරුවෙනි, මට සවන් දෙනු. මේ පර්වතයෙන් වතුර ගලා එවන්නට දැ”යි ඇසී ය.</verse>
				<verse number="11">ඔහු අත ඔසවා, සැරයටියෙන් පර්වතයට දෙවරක් ගැසී ය. මහා ජලධාරාවක් පිටාර ගැලී ය, ජනතාව සහ ඔවුන්ගේ සත්තු එයින් බීවෝ ය.</verse>
				<verse number="12">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට, “ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි මගේ ශුද්ධ බල මහිමය පිළිගන්නා තරමට නුඹලා මා කෙරෙහි විශ්වාසය නොතැබූ බැවින්, මා මේ සෙනඟට දීමට පොරොන්දු වූ දේශයට නුඹලා ඔවුන් ගෙන නොයන්නහු ය”යි වදාළ සේක.</verse>
				<verse number="13">ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව දොස් තැබූ බැවිනුත්, ඒ වතුර මඟින් උන් වහන්සේ සිය ශුද්ධ බල මහිමය ඔවුන්ට ප්‍රකාශ කළ බැවිනුත්, ඒ වතුර “මෙරිබාහි වතුර ය”යි නම් කරනු ලැබී ය.</verse>
				<verse number="14">මෝසෙස් කාදෙෂ්හි සිට ඒදොම්හි රජතුමන් වෙත දූතයන් යවමින් මෙසේ සැළ කෙළේ ය: “ඔබේ සගයන් වන ඉශ්රායෙල්වරුන් මෙසේ දන්වනු ඇත. අපට මූණපාන්නට වූ දුක් කරදර සියල්ල ම ඔබ දන්නෙහි ය.</verse>
				<verse number="15">අපේ මුතුන්මිත්තන් මිසරයට ගිය සැටිත්, දීර්ඝ කාලයක් අප එහි වාසය කළ සැටිත්, මිසර වැසියන් අපට හා මුතුන්මිත්තන්ට පීඩා කළ සැටිත් ඔබ දන්නෙහි ය.</verse>
				<verse number="16">අප සමිඳාණන් වහන්සේට මොරගැසූ විට, උන් වහන්සේ අප හඬට සවන් දී දූතයෙකු එවමින් මිසරයෙන් අප පිටතට ගෙනා සේක. මෙන්න, දැන් අපි ඔබේ දේශ සීමාවන්හි පිහිටි කාදෙෂ් නම් නුවර නැවතී සිටිමු.</verse>
				<verse number="17">කරුණාකර ඔබේ දේශය මැදින් ගමන් කිරීමට අපට අවසර දෙනු මැනවි. කෙත් වතු හෝ මිදි වතු හෝ මැදින් අපි නොයන්නෙමු. ඔබේ ළිංවලින් ජලය ද අපි නොබොන්නෙමු. ඔබේ දේශ සීමා පසු කර යන තෙක් දකුණතට හෝ වමතට හෝ නොහැරී අපි රජ මාවත ඔස්සේ ම යන්නෙමු.”</verse>
				<verse number="18">එහෙත්, ඒදොම්හි රජ ඔවුන්ට කතා කොට, “මාගේ දේශය මැදින් ඔබ හැමට ගමන් කිරීම තහනම් ය. එසේ කළොත් මම ඔබ හැමට විරුද්ධ ව යුද්ධ අරඹමි”යි කී ය.</verse>
				<verse number="19">ඉශ්රායෙල් ජනයා ඔහුට යළි කතා කොට, “අපි රජ මාවත දිගේ පමණක් යන්නෙමු. අප වත්, අපේ ගවමහිෂයන් වත් ඔබට අයිති වතුර බීවොත් අපි වන්දි ගෙවන්නෙමු. අපට ඕනෑ යන්තම් පයින් ගමන් කිරීම පමණ ය”යි කී හ.</verse>
				<verse number="20">එහෙත් රජ තෙම, “ඔබ හැමට යාම තහනම් ය”යි අණ කෙළේ ය. මෙසේ කී පසු ඒදොම් වැසියෝ මහා බලය පාමින්, විශාල පිරිසක් රැගෙන ඔවුන්ට විරුද්ධ ව පැමිණියා හ.</verse>
				<verse number="21">මෙසේ වූයේ ඒදොම්හි රජු ඉශ්රායෙල් ජනයාට තම දේශය මැදින් යාමට අවසර නුදුන් බැවිනි. එබැවින් ඉශ්රායෙල් ජනයා එතැනින් වෙන අතකට හැරුණාහ.</verse>
				<verse number="22">මුළු ඉශ්රායෙල් ජනතාව කාදෙෂ් නම් ස්ථානයෙන් පිටත් ව හෝර් නම් කන්දට පැමිණියහ.</verse>
				<verse number="23">ඒදොම් දේශ සීමාවේ පිහිටි හෝර් නම් කන්ද මත, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට සහ ආරොන්ට කතා කොට,</verse>
				<verse number="24">“නුඹලා මාගේ අණට විරුද්ධ ව, මෙරිබාහි ජලය සමීපයේ දී කැරලි ගැසූ බැවින්, ඉශ්රායෙල් ජනයාට මා දෙන්නට පොරොන්දු වූ දේශයට ආරොන් ඇතුළු නොවන්නේ ය. ඔහු මැරෙනු ඇත.</verse>
				<verse number="25">ආරොන් සහ ඔහු පුත් එලෙයාසර් කැඳවාගෙන හෝර් කන්දට නඟින්න.</verse>
				<verse number="26">ආරොන්ගේ ඇඳුම් ගලවා, ඔහු පුත් එලෙයාසර්ට ඒවා පළඳවන්න. ආරොන් එහි දී මරණයට පත් වනු ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="27">සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි මෝසෙස් ඉටු කෙළේ ය. මුළු ජනතාව බලාගෙන සිටිය දී ඔව්හු හෝර් කන්දට නැංගාහ.</verse>
				<verse number="28">ඉන්පසු මෝසෙස් ආරොන්ගේ ඇඳුම් ගලවා ඔහු පුත් එලෙයාසර්ට ඒවා පැළඳ වී ය. ආරොන් කඳු මුදුනේ දී මියගියේ ය. ඉන්පසු මෝසෙස් සහ එලෙයාසර් කන්දෙන් පහතට බැස ආහ.</verse>
				<verse number="29">මුළු ජනතාව ආරොන් මියගිය බව දැනගත් විට, ඉශ්රායෙල් වංශයේ සියල්ලෝ ම දින තිහක් ආරොන් උදෙසා වැලපුණාහ.</verse>
			</chapter>
			<chapter number="21">
				<verse number="1">දකුණු දිශාවේ විසූ අරාද් නම් කානානිය රජ අතාරිම් නම් මාර්ගය ඔස්සේ ඉශ්රායෙල්වරුන් එන බව ඇසූ විට, ඔහු ඔවුන් ආක්‍රමණය කර ඔවුන්ගෙන් සමහරෙකු අල්ලාගත්තේ ය.</verse>
				<verse number="2">ඉශ්රායෙල්වරු සමිඳාණන් වහන්සේට බාරයක් වෙමින්, “ඔබ මේ සෙනඟ අප අතට පාවා දෙන සේක් නම්, අපි ඔවුන්ගේ නගර සහමුලින් වනසාලන්නෙමු”යි කී හ.</verse>
				<verse number="3">උන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ගේ ඉල්ලීමට සවන් දී කානානිවරුන් ඔවුන්ට පාවා දුන් සේක. ඉශ්රායෙල්වරු ඔවුන් සහ ඔවුන්ගේ නගර සහමුලින් වනසා ලූ හ. ඉන්පසු එම ස්ථානය හෝර්මා කියා නම් කරන ලදී.</verse>
				<verse number="4">ඔව්හු හෝර් නම් කඳුකරයෙන් නික්ම රතු මුහුදට යන මාර්ගය ඔස්සේ ඒදොම් නම් දේශය වටකර ගියහ. මෙසේ යන විට සෙනඟ බොහෝ සේ අධෛර්යයට පත් වූ හ.</verse>
				<verse number="5">සෙනඟ දෙවියන් වහන්සේට සහ මෝසෙස්ට විරුද්ධ ව කතා කරමින්, “මේ පාළුකරයේ අප මැරෙන්නට ඇරීමට ඔබ අප මිසරයෙන් පිටතට ගෙනාවේ මන් ද? අපට කන්නත් නැත, බොන්නත් නැත. අපට ලැබෙන මේ සිල්ලර කෑම අපට දැන් තිත්ත වී ඇතැ”යි පැවසූ හ.</verse>
				<verse number="6">එවිට සමිඳාණන් වහන්සේ සෙනඟ මැදට විසකුරු සර්පයන් එවූ විට, ඒ සර්පයෝ ඔවුන්ට දෂ්ට කළහ. ඉශ්රායෙල් සෙනඟ අතරේ බොහෝ දෙනෙක් නැසී ගියහ.</verse>
				<verse number="7">එබැවින් සෙනඟ මෝසෙස් වෙත පැමිණ, “අපි සමිඳාණන් වහන්සේටත්, ඔබටත් විරුද්ධ ව කතා කිරීමෙන් පව් කෙළෙමු. මේ සර්පයන් අප මැදින් ඉවත් කරන ලෙස උන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි ඉල්ලූ හ. මෝසෙස් ද සෙනඟ උදෙසා යාච්ඤා කෙළේ ය.</verse>
				<verse number="8">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ලෝකඩ සර්පයෙකු සාදා රිටක් පිට තබන්න. දෂ්ට කරනු ලැබූ යමෙක් ඇද්ද, ඔහු එය දෙස බැලුවහොත්, සුව වනු ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="9">එවිට මෝසෙස් ලෝකඩ සර්පයෙකු සාදා ඌ රිටක් පිට තැබී ය. සර්පයෙක් යමෙකු දෂ්ට කෙළේ ද ඒ තැනැත්තා ලෝකඩ සර්පයා දෙස බැලූ විට ඔහු සුවපත් විය.</verse>
				<verse number="10">ඉශ්රායෙල් ජනයා ඉදිරියට ගොස් ඔබොත් නම් ස්ථානයේ කඳවුරු බැඳගත්හ.</verse>
				<verse number="11">එතැනින් නික්ම ඔව්හු පෙරදිග වූ මෝවබ් ප්‍රදේශයට ඉදිරියෙන් පිහිටි පාළුකරයේ ඉයේ-අබාරීම් නම් ස්ථානයේ කඳවුරු බැඳගත්හ.</verse>
				<verse number="12">එතැනින් ද නික්ම ශෙරෙද් නම් මිටියාවතේ කඳවුරු බැඳගත්හ.</verse>
				<verse number="13">එතැනින් ද යළි ඔව්හු පිටත් ව ගොස්, අමෝරිවරුන්ගේ දේශ සීමා දක්වා ඇති පාළුකරයේ පිහිටි අර්ණොන් ගඟින් එගොඩ කඳවුරු බැඳගත්හ. අර්ණොන් ගඟ පිහිටියේ මෝවබ්වරුන්ගේ හා අමෝරිවරුන්ගේ රටවල් අතර මෝවබ් දේශ සීමාවේ ය.</verse>
				<verse number="14">එබැවින් සමිඳුන්ගේ සටන් ග්‍රන්ථයෙහි මෙසේ කියා තිබේ: “සුපා නම් පෙදෙස්හි වහෙබ් නුවර ය, මිටියාවත් ය, අර්ණොන් නදිය ඇත,</verse>
				<verse number="15">ආර් නුවර හා මෝවබ් දේශ සීමා පැතිරී යන මිටියාවත්හි බෑවුම් ය.”</verse>
				<verse number="16">එතැනින් ඔව්හු බෙයේර් නම් ස්ථානයට ගියහ. ‘සෙනඟ එක්රැස් කරන්න, මම ඔවුන්ට බොන්නට වතුර දෙමි’යි කියා සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාරා ඇත්තේ එහි ය.</verse>
				<verse number="17">එවිට ඉශ්රායෙල් මේ ගීය ගැයූ හ. “එම්බා ළිඳ, දිය උනන්න. ඊට ගී ගයන්න.</verse>
				<verse number="18">කුමරුන් කැණි ළිඳ මේ ය, නායකයන් හෑරූ ළිඳ මේ ය, ජයකොන්තයෙන් කැණි ළිඳ මේ ය, සැරයටියෙන් හෑරූ ළිඳ මේ ය.” ඔව්හු පාළුකරයෙන් නික්ම මත්තානයට ද</verse>
				<verse number="19">එතැනින් නහලීයෙලට ද එතැනින් බාමොත්ට ද</verse>
				<verse number="20">එතැනින් කාන්තාරයට මූණ ලා පිහිටි පිස්ගා කඳු ශිඛරයට පහතින් මෝවබ් දේශයේ මිටියාවතට ද පැමිණියහ.</verse>
				<verse number="21">ඉශ්රායෙල්වරු අමෝරිවරුන්ගේ සීහොන් රජු වෙත දූතයන් යවමින්,</verse>
				<verse number="22">“ඔබේ දේශය මැදින් යන්නට අපට අවසර දෙනු මැනව, ඔබේ කෙත් වතුවලට හෝ මිදි වතුවලට හෝ නොයන්නෙමු. ළිංවලින් වතුර නොබොන්නෙමු. ඔබේ දේශ සීමා පසු කරන තෙක් රජ මාවත ඔස්සේ ම යන්නෙමු”යි සැළ කළහ.</verse>
				<verse number="23">එහෙත්, සීහොන් රජ, තම රට මැදින් යන්නට ඉශ්රායෙල්වරුන්ට අවසර නුදුන්නේ ය. තවද, ඔහු තම සියලු සෙනඟ රැස් කොට ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද අරඹා පාළුකරයේ පිහිටි ජහශ් නම් ස්ථානයට ගොස්, ඔවුන්ට පහර දුන්නේ ය.</verse>
				<verse number="24">ඉශ්රායෙල්වරු ද ඔවුන්ට විරුද්ධ ව කඩුවෙන් ප්‍රති ප්‍රහාර දී, අර්ණොන් නදියේ සිට ජබ්බොක් දක්වා ද අම්මොන්වරුන්ගේ දේශ සීමාවේ පිහිටි ජාශර් නම් ස්ථානය දක්වා ද රට යටත් කරගත්හ.</verse>
				<verse number="25">ඉශ්රායෙල්වරු මෙසේ අමෝරිවරුන්ගේ මේ නගර සියල්ල ම අල්ලාගත්හ. ඉන්පසු ඔව්හු හෙෂ්බොන් ඇතුළු ඊට යාබද සියලු නගරවල පදිංචි වූ හ.</verse>
				<verse number="26">හෙෂ්බොන් වනාහි අමෝරිවරුන්ගේ, සීහොන් නම් රජතුමාගේ ප්‍රධාන නගරය විය. ඔහු කලින් සිටි මෝවබ්හි රජුට විරුද්ධ ව සටන් කොට අර්ණොන් නදිය දක්වා මුළු ප්‍රදේශය ම අල්ලාගෙන තිබුණේ ය.</verse>
				<verse number="27">එබැවින් කිවීහු මෙසේ ගැයූ හ: “හෙෂ්බොන් වෙත එන්න, සීහොන් නුවර ඉදි කොට එය ලකලෑස්ති කරන්න.</verse>
				<verse number="28">
					හෙෂ්බොනින් නික්ම ගිය ගින්න, සීහොන් නුවරින් නික්ම ගිය ගිනි දලුව, මෝවබ්හි ආර් ද අර්ණොන් ගිරිකුළු නායකයන් ද දවාදැමී ය.
				</verse>
				<verse number="29">එම්බා මෝවබ්, තිට වන විපතක මහත! කෙමොෂ් වැසියෙනි, තෙපි විනාශ යි! දරුවන් කෙමොෂ් කෙරෙන් පලා යාමටත් දැරියන් අමෝරි රජු හට වහල්කමටත් පාවා දුනි.</verse>
				<verse number="30">හෙෂ්බොන් සිට දීබොන් දක්වා, නාෂිම් සිට මෙදිබා අසල නෝපා දක්වා, ඔවුන්ගේ පෙළපත වැනසී ඇත.”</verse>
				<verse number="31">මෙලෙස ඉශ්රායෙල්වරු අමෝරිවරුන්ගේ දේශයෙහි පදිංචි වූ හ.</verse>
				<verse number="32">මෝසෙස් ජාශර් නුවරට ඔත්තු බැලීමට දූතයන් යවා, ඊට යාබද නගර අල්ලා ගෙන ඒවායේ විසූ අමෝරිවරුන් පන්නා දැමී ය.</verse>
				<verse number="33">ඉන්පසු ඔව්හු හැරී බාෂාන් බලා ගියහ. එවිට බාෂාන්හි රජු වූ ඕග් සහ ඔහුගේ මුළු සෙනඟ ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද අරඹා පහර දීමට එද්රෙයි නම් ස්ථානයට ගියහ.</verse>
				<verse number="34">සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “රජුට බිය නොවන්න; නුඹ අතට ඔහුත්, ඔහුගේ මුළු සෙනඟත්, රටත් මම පාවාදෙමි. හෙෂ්බොන්හි සිටි අමෝරිවරුන්ගේ රජ වූ සීහොන්ට නුඹ කළාක් මෙන්, ඔහුටත් දඬුවම් කළ යුතු ය”යි වදාළ සේක.</verse>
				<verse number="35">එවිට ඉශ්රායෙල්වරු එම රජුටත්, ඔහුගේ දරුවන්ටත්, ඔහුගේ සෙනඟටත් පහර දී ඔවුන්ගෙන් කිසිවෙකු ඉතුරු නොකොට මරාදැමූ හ. ඉන්පසු ඔව්හු එම දේශය අත්පත් කරගත්හ.</verse>
			</chapter>
			<chapter number="22">
				<verse number="1">ඉශ්රායෙල් ජනයා ඉදිරියට ගොස් ජෙරිකෝවට මූණ ලා ජොර්දාන් ගඟින් එතෙර මෝවබ් මිටියාවතෙහි කඳවුරු බැඳගත්හ.</verse>
				<verse number="2">තවද, ශිප්පෝර්ගේ පුත් බාලාක් ඉශ්රායෙල්වරුන් අමෝරිවරුන්ට කළ සියල්ල දිටී ය.</verse>
				<verse number="3">ඉශ්රායෙල් සෙනඟ බොහෝ වූ බැවින් මෝවබ්හි වැසියෝ ඔවුන්ට අතිශයින් බියපත් වී ඔවුන් නිසා කැළඹුණාහ.</verse>
				<verse number="4">මෝවබ්හි වැසියෝ මිදියන්හි මූලිකයන්ට කතා කොට, “ගොනෙකු කෙතේ තණ කොළ කා දමන්නාක් මෙන්, මේ පිරිස අප අවට ඇති සියල්ල කාදමනු ඇතැ”යි කී හ. ඒ සමයෙහි මෝවබ්වරුන්ගේ රජ ශිප්පෝර්ගේ පුත් බාලාක් විය.</verse>
				<verse number="5">මොහු අමවු නම් රටේ යුප්‍රටීස් නදිය අසල වූ පෙතෝර් නම් නගරයේ විසූ බෙයෝර්ගේ පුත් බාලාම් කැඳවීමට දූතයන් යවමින්, ඔහුට මෙසේ දැන්විය: “බලන්න, මිසරයෙන් පිටතට පැමිණි සෙනඟක් මෙහි ඇත. ඔව්හු මගේ රට පුරා පැතිරී, එය අල්ලාගැනීමට තර්ජනය කරති.</verse>
				<verse number="6">දැන් ඉතින් කරුණාකර, ඔබ මෙහි පැමිණ, මා වෙනුවෙන් ඔවුන්ට සාප කරන්න. එසේ කළොත් ඔවුන්ට පහර දී මේ රටින් ඔවුන් පන්නාදැමීමට අපට පුළුවන් වනු ඇත. මන්ද, ඔබ යමෙකුට ආසිරි පැතුවොත් ආසිරි ලැබෙන බවත්, සාප කළොත් සාප ලැබෙන බවත් මම දනිමි.”</verse>
				<verse number="7">එවිට මෝවබ්හි සහ මිදියන්හි ප්‍රජා මූලිකයෝ පේන කීමට ගෙවිය යුතු මුදල් රැගෙන, බාලාම් වෙත ගොස් බාලාක්ගේ පණිවුඩය සැළ කළහ.</verse>
				<verse number="8">ඔහු ඔවුන්ට පිළිතුරු දෙමින්, “අද රෑ මෙහි නවතින්න. සමිඳාණන් වහන්සේ මට කියන ලෙස මම යළි ඔබට දන්වන්නෙමි”යි කී ය. මෝවබ්හි ප්‍රජා මූලිකයෝ ද බාලාම් සමඟ නවාතැන් ගත්හ.</verse>
				<verse number="9">දෙවියන් වහන්සේ බාලාම් වෙත පැමිණ, “නුඹ සමඟ සිටින මේ මිනිස්සු කවුරු දැ”යි ඇසූ සේක.</verse>
				<verse number="10">බාලාම් උන් වහන්සේට පිළිතුරු දෙමින්, “මෝවබ්හි රජ වූ ශිප්පෝර්ගේ පුත් බාලාක් මා වෙත දූතයන් එවා,</verse>
				<verse number="11">‘බලන්න, මිසරයෙන් පිටත් ව මෙහි සෙනඟක් පැමිණ ඇත. ඔව්හු මාගේ රට පුරා පැතිරී සිටිති. දැන් ඉතින් කරුණාකර, ඔබ මෙහි පැමිණ මා වෙනුවෙන් ඔවුන්ට සාප කරන්න. එසේ කළොත්, මට ඔවුන් පරාජය කොට, පන්නාදැමීමට පුළුවන් වනු ඇතැ’යි කියා දන්වා තිබේ ය”යි පැවසී ය.</verse>
				<verse number="12">එවිට දෙවියන් වහන්සේ බාලාම්ට කතා කොට, “නුඹ ඔවුන් සමඟ නොයා යුතු ය. ඒ සෙනඟට සාප නොකළ යුතු ය. මන්ද, ඒ සෙනඟ ආසිරි ලත් සෙනඟක් ය”යි වදාළ සේක.</verse>
				<verse number="13">බාලාම් උදෑසන නැඟිට බාලාක්ගේ ප්‍රජා මූලිකයන් අමතා, “ඔබේ රටට ආපසු යන්න, ඔබ සමඟ මට යන්නට සමිඳාණන් වහන්සේ අවසර නොදෙන සේකැ”යි කී ය.</verse>
				<verse number="14">ඔව්හු නැඟිට, බාලාක් වෙත පැමිණ, “බාලාම් අප සමඟ එන්නට බැරි ය කියන්නේ ය”යි සැළ කළහ.</verse>
				<verse number="15">එවිට බාලාක් කලින් යැවූ දූතයන්ට වඩා ගරුතර නායකයන් බොහෝ දෙනෙකු නැවත යැවී ය.</verse>
				<verse number="16">ඔව්හු බාලාම් වෙත පැමිණ, “ශිප්පෝර්ගේ පුත් බාලාක් මෙසේ කියනු ඇත: ‘කරුණාකර, මා වෙත එන්නට බැහැ නොකියන්න.</verse>
				<verse number="17">මම ඔබට ගරු සම්මාන ප්‍රදානය කරමි, ඔබ ඉල්ලන්නේ කුමක් ද, ඒ දේ මම දෙමි. එබැවින් කරුණාකර, මෙහි පැමිණ, මා වෙනුවෙන් මේ සෙනඟට සාප කරන්න’ කියා ඉල්ලා සිටින්නේ ය”යි සැළ කළහ.</verse>
				<verse number="18">එවිට බාලාම්, බාලාක්ගේ දූතයන්ට පිළිතුරු දෙමින්, “බාලාක් සිය රාජකීය මාලිගයේ රන් රිදී සියල්ල මට දෙතත්, මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ වචනය ඉක්මවා, අබමල් රේණුවක පමණ වත් දෙයක් මට කළ නොහැකි ය.</verse>
				<verse number="19">එබැවින් කරුණාකර, මේ රාත්‍රියත් මෙහි ගත කරන්න, සමිඳාණන් වහන්සේ ඊට වැඩි යමක් මට කියන සේක් නම්, මම එය දැන ගන්නෙමි”යි සැළ කෙළේ ය.</verse>
				<verse number="20">එදින රෑ දෙවියන් වහන්සේ බාලාම් වෙත පැමිණ, ඔහුට කතා කොට, “නුඹ කැඳවීමට මේ මිනිස්සු පැමිණියෝ නම්, ඔවුන් සමඟ යන්න. එහෙත්, මා නුඹට දන්වන පණිවුඩය අනුව පමණක් නුඹ කළ යුතු ය”යි වදාළ සේක.</verse>
				<verse number="21">බාලාම් උදෑසනින් නැඟිට කොටළුවාට සෑදලය යොදා මෝවබ්හි නායකයන් සමඟ ගියේ ය.</verse>
				<verse number="22">බාලාම් මෙසේ ගිය බැවින් දෙවියන් වහන්සේගේ උදහස ඇවිළිණි. ඔහු තම කොටළුවා පිට නැඟී ගියේ ය. ඔහු සමඟ මෙහෙකරුවෝ දෙදෙනෙක් ද වූ හ. එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහුට අවහිර කරමින් පාර හරහා සිටගත්තේ ය.</verse>
				<verse number="23">අතේ කඩුවක් ඇති, සමිඳාණන් වහන්සේගේ දූතයා පාර හරහා සිටිනු දුටු විට, කොටළුවා පාරෙන් ඉවත් ව කෙතට ගියේ ය. එහෙත් බාලාම් කොටළුවා ආපසු පාරට හරවන පිණිස, ඌට පහර දුන්නේ ය.</verse>
				<verse number="24">එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා, දෙපැත්තේ තාප්ප ඇති, මිදි වතු මැදින් වූ පටු පාරක් හරහා සිටගත්තේ ය.</verse>
				<verse number="25">කොටළුවා, සමිඳාණන් වහන්සේගේ දූතයා දුටු විට, ඌ තාප්පය දෙසට වැරෙන් තල්ලු වී ගිය නිසා බාලාම්ගේ පය තාප්පයේ හැපී තුවාළ විය. එවිට ඔහු තවත් වරක් ඌට තැළී ය.</verse>
				<verse number="26">ඉන්පසු සමිඳාණන් වහන්සේගේ දූතයා ඉදිරියට ගොස් වමතට හෝ දකුණතට හෝ හැරෙන්නට ඉඩ නැති ඉතා පටු පාරක සිටගත්තේ ය.</verse>
				<verse number="27">මෙවර කොටළුවා සමිඳාණන් වහන්සේගේ දූතයා දුටු විට, බාලාම් ඌ පිට සිටිය දී ම බිම වැදහොත්තේ ය. ඔහු තදින් රොස් වී, කෙවිටෙන් ඌට පහර දෙන්නට විය.</verse>
				<verse number="28">එවිට සමිඳාණන් වහන්සේ කොටළුවාට කතා කිරීමේ බලය දුන් සේක. ඌ බාලාම්ට කතා කොට, “ඔබ මට තුන් වතාවක් ම පහර දුන්නේ මා ඔබට කුමන වරදක් කළ නිසා දැ”යි ඇසී ය.</verse>
				<verse number="29">බාලාම් ඌට කතා කොට, “මා නුඹට එසේ කෙළේ නුඹ මට සරදම් කරන බැවිනි. මා අත කඩුවක් තිබුණා නම් නුඹ මරාදමන එක සිකුරු ය”යි කීවේ ය.</verse>
				<verse number="30">එවිට කොටළුවා බාලාම්ට කතා කොට, “මා ඔබට අයිති වූ දින සිට අද දක්වා ඔබ නැඟී ගිය ඔබේ කොටළුවා මම නොවෙම් ද? මින් ඉහත කවදා වත් මේ විදියට මම ඔබට සංග්‍රහ කෙළෙම් දැ”යි ඇසූ විට, ඔහු “නැතැ”යි පිළිතුරු දුනි.</verse>
				<verse number="31">එවිට සමිඳාණන් වහන්සේ ඔහුගේ ඇස් පැහැදූ සේක. උන් වහන්සේගේ දූතයා අතේ කඩුවක් ඇති ව පාර හරහා සිටිනු ඔහු දිටී ය. ඔහු ද හිස නමා ආචාර කොට, මුණින්තලා වැටිණි.</verse>
				<verse number="32">සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහු අමතමින්, “නුඹේ කොටළුවාට නුඹ තුන් වතාවක් පහර දුන්නේ මන් ද? නුඹ මේ ගමන නොයා යුතු බැවින්, නුඹට අවහිර කිරීමට මම ආවෙමි.</verse>
				<verse number="33">කොටළුවා මා දැක තුන්වරක් පාරෙන් ඉවතට ගියේ ය. ඌ එසේ ඉවතට නොගියේ නම්, සත්තකින් ම නුඹ මරා දමා ඒ සතාගේ පණ බේරාගන්නට මම හිතාගෙන සිටියෙමි”යි කීවේ ය.</verse>
				<verse number="34">එවිට බාලාම් සමිඳාණන් වහන්සේගේ දූතයාට කතා කොට, “මම පව් කෙළෙමි. ඔබ මට අවහිර කරමින් පාර හරහා උන් බව මම නොදැන සිටියෙමි. දැන් ඉතින් මගේ ගමනට ඔබ අකමැති නම්, මම හැරී ආපසු යන්නෙමි”යි කීවේ ය.</verse>
				<verse number="35">එවිට උන් වහන්සේගේ දූතයා බාලාම්ට කතා කොට, “මේ මිනිසුන් සමඟ යන්න. එහෙත්, මම නුඹට දන්වන දේ පමණක් නුඹ කිව යුතු ය”යි උත්තර දුනි. එවිට බාලාම් බාලාක්ගේ නායකයන් සමඟ යන්නට ගියේ ය.</verse>
				<verse number="36">බාලාම් පැමිණි බව බාලාක් දැනගත් විට ඔහු බාලාම් හමුවනු සඳහා මෝවබ් දේශ සීමාවේ අර්ණොන් ගං තෙර පිහිටි ආර් නම් නුවරට ගියේ ය.</verse>
				<verse number="37">එවිට බාලාක්, බාලාම්ට කතා කොට, “ඔබ කැඳවනු පිණිස, මම ඔබ වෙත ඉතා ඕනෑකමින් දූතයන් නෑරියෙම් ද? මා වෙත නාවේ මන් ද? ඔබට ගරු සම්මාන ප්‍රදානය කිරීමට මට නුපුළුවන් ය කියා ඔබ සිතන්නෙහි දැ”යි විචාළේ ය.</verse>
				<verse number="38">එවිට බාලාම් උත්තර දෙමින්, “මෙන්න, මම ඇවිත් සිටිමි. එහෙත්, යමක් කීමට මට ඇති බලය කුමක් ද? දෙවියන් වහන්සේ මට කියන දේ පමණක් මම ඔබට දන්වමි”යි සැළ කෙළේ ය.</verse>
				<verse number="39">ඉන්පසු ඔවුන් දෙදෙන ගමන් කොට, කිර්යත්-හුශෝත් නම් නුවරට පැමිණියහ.</verse>
				<verse number="40">එහි දී බාලාක් ගොනුන් සහ බැටළුවන් මරා, බාලාම් සහ ඔහු සමඟ සිටි නායකයන් වෙත සතුන්ගේ කොටස් යැවී ය.</verse>
				<verse number="41">පසු දින උදය බාලාක් බාලාම් කැඳවාගෙන බාමොත්-බාල් නම් ගිරිකුළට ගියේ ය. එහි දී ඉශ්රායෙල් සෙනඟගෙන් කොටසක් බාලාම්ට දකින්නට පුළුවන් විය.</verse>
			</chapter>
			<chapter number="23">
				<verse number="1">බාලාම් බාලාක්ට කතා කොට, “මෙහි මට පූජාසන හතක් තනා, ගොනුන් හත්දෙනෙකු හා බැටළු වස්සන් හත්දෙනෙකු සපයා දෙන්නැ”යි කී ය.</verse>
				<verse number="2">බාලාම් කී පරිදි බාලාක් කළ පසු, දෙදෙනා ම එක එක පූජාසනය මත එක ගොනෙකු හා එක බැටළු වස්සෙකු බැගින් පූජා කළහ.</verse>
				<verse number="3">ඉන්පසු බාලාම්, බාලාක් අමතමින්, “ඔබ ඔබේ දවන යාග පූජාව ළඟ සිටින්න. මම යන්නෙමි. ඇතැම් විට සමිඳාණන් වහන්සේ මා හමුවීමට එනු ඇත. උන් වහන්සේ මට යමක් වදාරන සේක් ද, මම එය ඔබට දන්වන්නෙමි”යි පැවසී ය. මෙසේ පවසා, ඔහු ගිරිකුළකට නැංගේ ය.</verse>
				<verse number="4">එහි දී දෙවියන් වහන්සේ ඔහුට හමු වූ විට ඔහු උන් වහන්සේ අමතා, “මම පූජාසන හතක් තනා ඒ එක එක මත ගොනෙකු හා බැටළු වස්සෙකු බැගින් පූජා කෙළෙමි”යි කී ය.</verse>
				<verse number="5">උන් වහන්සේ ඔහුට කතා කොට, “නුඹ බාලාක් වෙත ගොස්, ඔහුට මෙසේ සැළ කළ යුතු ය”යි දැන්වූ සේක.</verse>
				<verse number="6">ඔහු ද බාලාක් වෙත ගිය විට, බාලාක් සහ මෝවබ්හි නායකයන් ඔහුගේ දවන යාග පූජාව ළඟ සිටිනු දිටී ය.</verse>
				<verse number="7">එවිට බාලාම් මේ අනාවැකිය කී ය: “මෝවබ්හි භූපති බාලාක් මා කැඳවූයේ, ආරාම් රටිනි, පෙරදිග කඳුකරයෙනි, ඔහු මා ඇමතූයේ, ‘ එන්න, මා වෙනුවෙන් ඉශ්රායෙල් ජනයාට සාප කරන්න. එන්න, ඉශ්රායෙල් ජනයා හට දෙස් කියන්න’ කියා ය.</verse>
				<verse number="8">දෙවිඳුන් සාප නොකළ අයට මම කෙසේ සාප කරම් ද? සමිඳුන් දෙස් නොකී අයට මම කෙසේ දෙස් කියම් ද?</verse>
				<verse number="9">ගිරිකුළුවලින් එපිට මට ඔවුන් පෙනේ, කඳු හෙල්වලින් ඈත මට ඔවුන් දිස් වේ. ඔව්හු වෙන් ව වසන සෙනඟක් වෙති. ජාතීන් අතර නොගැණෙන සෙනඟක් වෙති.</verse>
				<verse number="10">ධූලි වැනි ජාකොබ්ගේ පෙළපත ගිණිය හැක්කේ කාට ද? ඉශ්රායෙල් පරපුර ගිණීමට සමතා කවරෙක් ද? දැහැමියෙකු මෙන් මම මරණයට පත් වෙම් වා! මා අවසානය ඔවුන්ගේ මෙන් ම වේ වා!”</verse>
				<verse number="11">එවිට බාලාක් බාලාම් අමතමින්, “ඔබ මට කළ මේ හදිය කුමක් ද? මා ඔබ කැඳවූයේ මාගේ සතුරන්ට සාප කිරීමට ය; එහෙත්, පුදුමයකි, ඔබ කර ඇත්තේ ඔවුන්ට ආසිරි පැතීමකි”යි කී ය.</verse>
				<verse number="12">බාලාම් ඔහුට පිළිතුරු දෙමින්, සමිඳාණන් වහන්සේ මට කියන දේ පමණක් කීමට මම වග බලාගත යුතු නොවෙම් දැ”යි ඇසී ය.</verse>
				<verse number="13">බාලාක් බාලාම්ට කතා කොට, “ඔබ කරුණාකර, මා සමඟ වෙන තැනකට එන්න. එහි දී ඔබට ඔවුන් දකින්නට පුළුවන. එතැන සිට ඔවුන් සියල්ලන් නොව, ඔවුන්ගෙන් කොටසක් ඔබට පෙනෙනු ඇත. එතැන සිටගෙන මා වෙනුවෙන් ඔවුන්ට සාප කරන්නැ”යි ඉල්ලී ය.</verse>
				<verse number="14">මෙසේ කියා පිස්ගා නම් කඳු මුදුනෙහි ශොපිම් නම් කෙතට ඔහු ගෙනැවිත්, එහි පූජාසන හතක් තනා එක එක පූජාසනය මත ගොනෙකු හා බැටළු වස්සෙකු බැගින් පූජා කෙළේ ය.</verse>
				<verse number="15">ඉන්පසු බාලාම් බාලාක්ට කතා කොට, “ඔබේ දවන යාග පූජාව ළඟ ඔබ සිටින්න. මම අතනට ගොස් සමිඳාණන් වහන්සේ හමුවෙමි”යි කී ය.</verse>
				<verse number="16">සමිඳාණන් වහන්සේ බාලාම්ට මුණ ගැසී, ඔහුට කතා කොට, “නුඹ බාලාක් වෙත නැවත ගොස් මෙසේ කියන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="17">බාලාම් ඔහු වෙත ගිය විට බාලාක් හා මෝවබ්හි නායකයන් ඔහුගේ දවන යාග පූජාව ළඟ සිටිනු දිටී ය. බාලාක් ද, “සමිඳාණන් වහන්සේ කුමක් කීවේ දැ”යි විචාළේ ය.</verse>
				<verse number="18">එවිට බාලාම් මේ දිවැස් වැකිය පැවසී ය: “බාලාක්, අවදි ව ඇහුම්කන් දෙන්න; ශිප්පෝර්ගේ පුත්‍රය, මට සවන් දෙන්න;</verse>
				<verse number="19">දෙවිඳාණෝ බොරු කියන මිනිසෙක් නොවෙති; පසුබට වන මිනිස් පුතෙක් ද නොවෙති; එතුමාණෝ, තමන් කී දේ ඉටු නොකරන සේක් ද? පොරොන්දු වූ දේ, නොදෙන සේක් ද?</verse>
				<verse number="20">බලන්න, මට පැවරුයේ ආසිරි පැතුමකි. උන් වහන්සේ පැතූ ආසිරි මට ආපසු නොගත හැකි ය.</verse>
				<verse number="21">ජාකොබ් පෙළපතෙහි නපුරක් එතුමන්ට නොපෙනේ. ඉශ්රායෙල් පරපුරෙහි දූෂ්‍යකමක් එතුමාණෝ නුදුටු සේක. දෙවි සමිඳාණෝ ඔවුන් සමඟ ය. එතුමාණන් සිය රජු බව ඔව්හු පවසති.</verse>
				<verse number="22">දෙවිඳාණෝ ඉශ්රායෙල්වරුන් මිසරයෙන් ගෙනා සේක. කුළු හරකාට උගේ අං යම් සේ ද දෙවිඳුන් ඔවුන්ට එසේ ම වනු ඇත.</verse>
				<verse number="23">ජාකොබ්ට එරෙහි ව අනවින නැත. ඉශ්රායෙල්ට එරෙහි ව පේන කීමක් ද නැත. ජාකොබ් පෙළපත, ඉශ්රායෙල් පරපුර අමතා, ‘දෙවිඳුන් කෙළේ කුමක් ද’ කියා අසනු ඇත.</verse>
				<verse number="24">පුදුමයෙන් පුදුමයකි! සිහ දෙනක මෙන් සෙනඟ නැඟිටිනු ඇත. සිහ රදෙකු මෙන් ගොදුර බලා පනිනු ඇත, ගොදුර කන තුරු, මැරූවන්ගේ ලේ බොන තුරු, ඌ ලගින්නේ නැත.”</verse>
				<verse number="25">එවිට බාලාක් බාලාම් අමතමින්, “ඔවුන්ට සාප කිරීමට අකමැති නම්, යටත් පිරිසෙයින් ඔවුන්ට ආසිරි නොපතන්නැ”යි කී විට,</verse>
				<verse number="26">ඔහු උත්තර දෙමින්, “සමිඳාණන් වහන්සේ කියන දේ මා කළ යුතු බව මම ඔබට කලින් නොකීවෙම් දැ”යි ඇසී ය.</verse>
				<verse number="27">ඉන්පසු බාලාක් බාලාම්ට කතා කොට, “එන්න, කරුණාකර, මම ඔබ වෙනත් තැනකට ගෙන යමි. ඇතැම් විට එතැන සිටවත් මා වෙනුවෙන් මොවුන්ට සාප කිරීමට දෙවියන් වහන්සේ ඔබට අවසර දෙත හැකි ය”යි කී ය.</verse>
				<verse number="28">මෙසේ කියා, ඔහු කාන්තාරය ඉදිරිපිට වූ පෙයොර් නම් කඳු මුදුනට බාලාම් ගෙනාවේ ය.</verse>
				<verse number="29">ඔහු බාලාක්ට කතා කොට, “මෙහි පූජාසන හතක් තනා, ගොනුන් හත්දෙනෙකු හා බැටළු වස්සන් හත්දෙනෙකු සපයා දෙන්නැ”යි කී ය.</verse>
				<verse number="30">බාලාම් කී පරිදි බාලාක් කළ පසු, ඔහු එක එක පූජාසනය මත ගොනෙකු හා බැටළු වස්සෙකු බැගින් පූජා කෙළේ ය.</verse>
			</chapter>
			<chapter number="24">
				<verse number="1">ඉශ්රායෙල්වරුන්ට ආශීර්වාද කිරීමට සමිඳාණන් වහන්සේ කැමැති බව බාලාම් දැනගත් විට, ඔහු කලින් කළාක් මෙන්, සුබ ලකුණු බැලීමට නොගොස් පාළුකරය දෙසට හැරුණේ ය.</verse>
				<verse number="2">ඔහු හිස ඔසවා බැලූ විට, ඉශ්රායෙල්වරුන් ඔවුන්ගේ ගෝත්‍ර අනුව කඳවුරු බැඳ සිටිනු දිටී ය. දේවාත්මානුභාවය ඔහු මත විය.</verse>
				<verse number="3">එවිට ඔහු මේ අනාවැකිය කී ය: “බෙයෝර්ගේ පුත්, බාලාම්ගේ පණිවුඩය මේ ය. ඇස් පැහැදුණු මිනිසාගේ කියමන මේ ය.</verse>
				<verse number="4">දෙවි වදනට සවන් දුන්, සව් බලැති සමිඳුන්ගේ දර්ශනය දුටු, ධ්‍යාන සුවයට සම වැදුණු, නෙත් පැහැදී ඇති ඔහුගේ කියමන, මේ ය.</verse>
				<verse number="5">එම්බා ජාකොබ්! ඔබේ කූඩාරම් කෙතරම් මනහර ද? එම්බා ඉශ්රායෙල්! ඔබේ කඳවුරු කෙතරම් ශෝභන ද?</verse>
				<verse number="6">ඒවා දුරට පැතිර විහිදෙන මිටියාවත් මෙනි, ගඟබඩ උයන් මෙනි; සමිඳුන් රෝපණය කළ අගරු ගස් මෙනි; ගං තෙර කිහිරි ගස් මෙනි.</verse>
				<verse number="7">ඔවුන්ගේ බඳුන්හි ජලය උතුරා යයි; ඔවුන්ගේ පෙළපත මහ සමුදුර මෙනි, ඔවුන්ගේ රජ, ආගග් රජුට වඩා උසස් වනු ඇත. ඔවුන්ගේ අණසක දසත පැතිර යනු ඇත.</verse>
				<verse number="8">දෙවිඳාණෝ ඉශ්රායෙල්වරුන් මිසරයෙන් ගෙනා සේක. කුළු හරකාට උගේ අං යම් සේ ද, දෙවිඳුන් ඔවුන්ට එසේ ම වනු ඇත. ඔවුන් තම හතුරු ජාතීන් කාදමනු ඇත, ඇටකටු සිඳ බිඳ, ඊතල සුන්බුන් කරනු ඇත.</verse>
				<verse number="9">
					සිහ රදෙකු මෙන්, සිහ දෙනක මෙන්, ඉශ්රායෙල් ජනයා, හිස ඔසවා බිම වැතිරෙති.
					උන් අවදි කරන්නට සමතා කවරෙක් ද? ඔබට ආසිරි දෙන්නා ආසිරි ලද්දෙකි; ඔබට සාප දෙන්නා සාප ලද්දෙකි.”
				</verse>
				<verse number="10">එවිට බාලාක් බාලාම්ට විරුද්ධ ව තදින් රොස් වී, අත් මිටමොළවා, ඔහු අමතමින්, “මා ඔබ කැඳවූයේ මාගේ සතුරන්ට සාප කරන්නට ය. එහෙත්, ඔබ කර ඇත්තේ තෙවරක් ම ඔවුන්ට ආසිරි පැතීම යි.</verse>
				<verse number="11">එබැවින් දැන් ඉතින් ඔබේ ගෙදරට වහා පලා යන්න. මා සිතාගෙන සිටියේ ඔබට බොහෝ ගරු සම්මාන දීමට ය. එහෙත් සමිඳාණන් වහන්සේ එසේ කිරීමෙන් මා වැළැක්වූ සේකැ”යි කී ය.</verse>
				<verse number="12">එවිට බාලාම් පිළිතුරු දෙමින්, “මා වෙත ඔබ එවූ දූතයන්ට කතා කොට,</verse>
				<verse number="13">“බාලාක් තම රාජ මාලිගය පුරවා රන් රිදී මට දෙතත්, මා සිතන පරිදි හොඳ හෝ නරක හෝ කිරීමට සමිඳාණන් වහන්සේගේ අණ ඉක්මවා යන්නට බැරි බවත්, උන් වහන්සේ කියන දේ පමණක් මා කතා කරන බවත් මම නොකීවෙම් ද?</verse>
				<verse number="14">බලන්න, මම දැන් මගේ සෙනඟ වෙත යමි. එහෙත්, මින් ඉදිරියට මේ සෙනඟ ඔබේ සෙනඟට කරන දේ කල්තියා දන්වන්නට යමි”යි කීවේ ය.</verse>
				<verse number="15">ඉන්පසු බාලාම් මේ අන්තිම අනාවැකිය කී ය. “බෙයෝර්ගේ පුත්, බාලාම්ගේ පණිවුඩය මේ ය, ඇස් පැහැදුණු මිනිසාගේ කියමන මේ ය.</verse>
				<verse number="16">දෙවි වදනට සවන් දුන්, මෙහෙසුරු පිළිබඳ දැනගැන්ම ඇති, සව් බලැති සමිඳුන්ගේ දර්ශනය දිටි, ධ්‍යාන සුවයට සම වැදුණු, නෙත් පැහැදී ඇති ඔහුගේ කියමන, මේ ය.</verse>
				<verse number="17">මම එතුමන් දකිමි, එහෙත් දැන් නොවේ; මට එතුමන් පෙනේ, එහෙත් ළඟපාත නොවේ; ජාකොබ්ගේ පෙළපතින් තරුවක් පායනු ඇත; ඉශ්රායෙල් වංශයෙන් ජයකොන්තයක් මතු වනු ඇත. එතුමන් මෝවබ් නායකයන්ට පහර දී, ඔද වැඩි, සැහැසියන් වනසනු ඇත.</verse>
				<verse number="18">ඒදොම් පරාජිත රටක් වේ; සේයිර් ද පරාජිත රටක් වේ; ඉශ්රායෙල් රට ජයග්‍රාහී වනු ඇත.</verse>
				<verse number="19">ඉශ්රායෙල් ජනයා සතුරන් පරදා නගරයේ ඉතුරු වන්නන් වනසාලන්නේ ය.”</verse>
				<verse number="20">එවිට බාලාම්, අමලෙක් දෙස බලා මේ අනාවැකිය පැවසී ය: “ජාතීන් අතර ප්‍රබල ජාතිය අමලෙක් ය; එහෙත් ඔහුගේ අන්තිමය විනාශය වේ.”</verse>
				<verse number="21">ඔහු කේනිවරුන් දෙස බලා, මේ අනාවැකිය පැවසී ය. “ඔබේ වාසභවනය ශක්තිමත් ය; ඔබේ කැදැල්ල පර්වතයක් මෙන් සුරැකි ව ඇත.</verse>
				<verse number="22">එහෙත් කේනිවරුන් වැනසෙනු ඇත; අසිරියාව ඔබ හැම අල්ලාගනු ඇත.”</verse>
				<verse number="23">බාලාම් මේ අනාවැකිය ද පැවසී ය. “දිවයින් වැසියෝ උතුරු දිගට රැස් වෙති.</verse>
				<verse number="24">කිත්තිම් දිසාවෙන් නැව් එනු ඇත. අසිරියාවට, බබිලෝනියට පහර දෙනු ඇත. එහෙත්, ඔව්හු ද විනාශයට පැමිණෙති.”</verse>
				<verse number="25">ඉන්පසු බාලාම් නැඟිට සිය නිවෙස බලා ආපසු ගියේ ය. බාලාක් ද යන්නට ගියේ ය.</verse>
			</chapter>
			<chapter number="25">
				<verse number="1">ඉශ්රායෙල්වරු ෂිට්ටිම් නම් මිටියාවතෙහි කඳවුරු බැඳගත්හ. ඔව්හු, මෝවබ් කාන්තාවන් සමඟ අනාචාරයේ හැසිරෙන්නට පටන්ගත්හ.</verse>
				<verse number="2">මේ ස්ත්‍රීන් තමන්ගේ දෙවි දේවතාවන්ට පිදූ පුදපූජා සඳහා සෙනඟට ආරාධනය කළ විට, ඔව්හු ගොස් ඒ පිදේනි වළඳා, ඒ දෙවි දේවතාවන් ඉදිරියෙහි වැඳ වැටුණෝ ය.</verse>
				<verse number="3">මෙසේ ඉශ්රායෙල්වරුන් පෙයෝර්හි බාල් නම් දෙවියාට කැප වූ බැවින්, ඔවුන්ට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස ඇවිළිණි.</verse>
				<verse number="4">උන් වහන්සේ මෝසෙස් අමතා, “සෙනඟ අතර නායක සියල්ලන් කැඳවන්න, සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් කෙරෙන් පහවී යන පිණිස, ප්‍රසිද්ධියේ ඔවුන් එල්ලා මරන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="5">එවිට මෝසෙස් ඉශ්රායෙල්වරුන්ගේ නිලධාරීන් අමතා, “පෙයෝර්හි බාල් නම් දෙවියාට කැප වූ තම තමාගේ සියලු මිනිසුන් මරන්නැ”යි අණ කෙළේ ය.</verse>
				<verse number="6">එවිට, මෝසෙස් සහ මුළු ඉශ්රායෙල් ජනතාව ම සම්මුඛ මණ්ඩපයේ දොරකඩ හඬ හඬා සිටිය දී, ඔවුන්ට පෙනෙන්නට ම, එක් ඉශ්රායෙල් ජාතිකයෙක් මිදියන් ජාතික ස්ත්‍රියක තම සොහොයුරන් වෙත කැඳවාගෙන ආයේ ය.</verse>
				<verse number="7">එවිට පූජක ආරොන්ගේ පුත් එලෙයාසර්ගේ පුත්‍රයා වන පිනෙහාස් මෙය දුටු විට, තම සෙනඟ මැදින් නැඟිට, හෙල්ලයක් අතින් ගෙන</verse>
				<verse number="8">ඒ ඉශ්රායෙල් ජාතිකයා පසුපස ගොස් කූඩාරමට ඇතුළු වී, ඔහුගේ හා ඒ ස්ත්‍රියගේ බඩ සිදුරු කරගෙන යන ලෙස දෙදෙනාට ම ඇන්නේ ය. එවිට ඉශ්රායෙල් ජනයා අතර පැතිර ගිය වසංගතය නැවතිණි.</verse>
				<verse number="9">ඒ දක්වා ඉන් මැරුණු ජනකාය විසිහතර දාහක් වූ හ.</verse>
				<verse number="10">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,</verse>
				<verse number="11">“පූජක ආරොන්ගේ පුත්, එලෙයාසර්ගේ පුත්‍රයා වන පිනෙහාස් මගේ උදහස ඉශ්රායෙල් ජනයා වෙත පැමිණීමෙන් වැළැක්විය. ඔවුන් අතර ඔහු පමණක් මට ඉතා ලැදි ව සිටි බැවින්, ඒ ලැදිකම නිසා ම, මම ඉශ්රායෙල් ජනයා වනසා නොදැමීමි.</verse>
				<verse number="12">එබැවින් ‘සාම ගිවිසුම මම ඔහු සමඟ කරමි’යි ඔහුට කියන්න.</verse>
				<verse number="13">සදාතන පූජකවරයේ ගිවිසුමක් වශයෙන් එය ඔහුටත්, ඔහුගෙන් පසු ඔහුගේ පෙළපතටත් හිමි වනු ඇත. මා එසේ කෙළේ ඔහු තම දෙවියන් වහන්සේට ලැදි ව, ඉශ්රායෙල් ජනයාට පව් කමාව සැලැසූ හෙයිනි”යි වදාළ සේක.</verse>
				<verse number="14">මිදියන් ජාතික ස්ත්‍රී සමඟ මරණ ලද ඉශ්රායෙල් ජාතිකයාගේ නම සිම්රි ය. ඔහු සිමියොන්ගේ පෙළපතට අයත් දෙටු කුලයක නායක වූ සාලුගේ පුත්‍රයා ය.</verse>
				<verse number="15">මරණ ලද මිදියන් ජාතික ස්ත්‍රිය කොස්බි ය. ඈ මිදියන්හි දෙටු කුලයක සෙනඟට අධිපති නායකයෙකු වූ ශූර්ගේ දුව ය.</verse>
				<verse number="16">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,</verse>
				<verse number="17">“මිදියන්වරුන්ට හිරිහැර කොට ඔවුන් වනසාලන්න.</verse>
				<verse number="18">මන්ද, පෙයෝර් සම්බන්ධ කාරණයේ දී ද, ඒ කරුණ නිසා වසංගත පැමිණි දින මරණ ලද මිදියන් ජාතික නායකයාගේ දුව හා ඔවුන්ගේ සොහොයුරිය වන කොස්බි සම්බන්ධ කාරණයේ දී ද, ඔවුන් තමන්ගේ කපටි මායම්වලින් නුඹලාට හිරිහැර කර ඇති හෙයිනැ”යි වදාළ සේක.</verse>
			</chapter>
			<chapter number="26">
				<verse number="1">වසංගතයෙන් පසු සමිඳාණන් වහන්සේ මෝසෙස්ට සහ පූජක ආරොන්ගේ පුත් එලෙයාසර්ට කතා කොට,</verse>
				<verse number="2">“මුළු ඉශ්රායෙල් ජනතා අතර, ඔවුන්ගේ පෙළපත් අනුව, හමුදාවට බැඳෙන්නට පුළුවන්, අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති සියල්ලන් සංගණනය කළ යුතු ය”යි වදාළ සේක.</verse>
				<verse number="3">මෝසෙස් සහ පූජක එලෙයාසර් ජොර්දාන් ගඟබඩ මෝවබ් මිටියාවතේ, ජෙරිකෝව අසල දී, සෙනඟට කතා කොට,</verse>
				<verse number="4">“සමිඳාණන් වහන්සේ මෝසෙස්ට සහ මිසර දේශයෙන් නික්ම ආ ඉශ්රායෙල් ජනයාට අණ කළ පරිදි අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති සියල්ලන්ගේ සංගණනය ගත යුතු ය”යි කීහ.</verse>
				<verse number="5">ඔව්හු වනාහි ඉශ්රායෙල්වරුන්ගේ කුලුඳුල් පුත් රූබන් ය; මොහුගේ පරපුර නම්, හනොක්ගෙන් පැවතෙන හනොක් පවුල ය; පල්ලුගෙන් පැවතෙන පල්ලු පවුල ය;</verse>
				<verse number="6">හෙශ්රොන්ගෙන් පැවතෙන හෙශ්රොන් පවුල ය; කර්මීගෙන් පැවතෙන කර්මී පවුල ය;</verse>
				<verse number="7">රූබන්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හතළිස්තුන්දාස් හත්සිය තිස්දෙනෙක් ය.</verse>
				<verse number="8">පල්ලුගේ පුත්‍රයෝ නම් එලියාබ් ය.</verse>
				<verse number="9">මොහුගේ පුත්‍රයෝ නම් නෙමුවෙල්, දාතාන් සහ අබිරාම් ය. දාතාන් සහ අබිරාම් නම් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලිගැසූ කෝරාගේ පිරිසට අයත්, මෝසෙස්ට හා ආරොන්ට අභියෝග කළ, සෙනඟ අතර සුප්‍රසිද්ධ දෙදෙනා ය.</verse>
				<verse number="10">පොළොව පැළී ඔවුන් ගිලදැමී ය. ගින්නෙන් දෙසිය පණස්දෙනෙකු වැනසී ගිය විට, ඔවුන් සමඟ කෝරා සහ ඔහුගේ පිරිස ද මළහ. මෙසේ ඔව්හු අනතුරු ඇඟවීමේ ලකුණක් වූ හ.</verse>
				<verse number="11">එහෙත්, කෝරාගේ දරුපරපුර නොමළෝ ය.</verse>
				<verse number="12">පවුල් අනුව සිමියොන්ගේ දරුපරපුර නම්, නෙමුවෙල්ගෙන් පැවතෙන නෙමුවෙල් පවුල ය; ජාමීන්ගෙන් පැවතෙන ජාමීන් පවුල ය; ජාකීන්ගෙන් පැවතෙන ජාකීන් පවුල ය;</verse>
				<verse number="13">ශෙරාගෙන් පැවතෙන ශෙරා පවුල ය; ෂාවුල්ගෙන් පැවතෙන ෂාවුල් පවුල ය.</verse>
				<verse number="14">සිමියොන්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ඔවුන්ගේ මුළු ගණන විසි දෙදාස් දෙසීයයක් ය.</verse>
				<verse number="15">පවුල් අනුව ගාද්ගේ පරපුර නම්, ශෙපොන්ගෙන් පැවතෙන ශෙපොන් පවුල ය; හග්ගීගෙන් පැවතෙන හග්ගී පවුල ය; ෂුනීගෙන් පැවතෙන ෂුනී පවුල ය;</verse>
				<verse number="16">ඔශ්නිගෙන් පැවතෙන ඔශ්නි පවුල ය, ඒරීගෙන් පැවතෙන ඒරී පවුල ය;</verse>
				<verse number="17">අරොද්ගෙන් පැවතෙන අරොද් පවුල ය; අරේලිගෙන් පැවතෙන අරේලි පවුල ය.</verse>
				<verse number="18">ගාද්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හතළිස්දාස් පන්සියයක් ය.</verse>
				<verse number="19">ජුදාගේ පුත්‍රයෝ, ඒර් සහ ඕනාන් ය, මේ දෙදෙන කානාන් දේශයෙහි මළහ.</verse>
				<verse number="20">පවුල් අනුව ජුදාගේ පරපුර නම්, ෂේලාගෙන් පැවතෙන ෂේලා පවුල ය; පෙරෙශ්ගෙන් පැවතෙන පෙරෙශ් පවුල ය; ශෙරාගෙන් පැවතෙන ශෙරා පවුල ය;</verse>
				<verse number="21">පෙරෙශ්ගේ පරපුර නම් හෙශ්රොන්ගෙන් පැවතෙන හෙශ්රොන් පවුල ය; හාමුල්ගෙන් පැවතෙන හාමුල් පවුල ය.</verse>
				<verse number="22">ජුදාගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හැත්තෑහයදාස් පන්සියයක් ය.</verse>
				<verse number="23">පවුල් අනුව ඉස්සාකර්ගේ පරපුර නම්, තෝලාගෙන් පැවතෙන තෝලා පවුල ය; පුවාගෙන් පැවතෙන පුවා පවුල ය;</verse>
				<verse number="24">ජාෂුබ්ගෙන් පැවතෙන ජාෂුබ් පවුල ය; ෂිම්රොන්ගෙන් පැවතෙන ෂිම්රොන් පවුල ය.</verse>
				<verse number="25">ඉස්සාකර්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හැටහතරදාස් තුන්සියයක් ය.</verse>
				<verse number="26">පවුල් අනුව සාබුලොන්ගේ පරපුර නම්, සෙරෙද්ගෙන් පැවතෙන සෙරෙද් පවුල ය; ඒලොන්ගෙන් පැවතෙන ඒලොන් පවුල ය; ජාලෙයෙල්ගෙන් පැවතෙන ජාලෙයෙල් පවුල ය.</verse>
				<verse number="27">සාබුලොන්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හැටදාස් පන්සියයක් ය.</verse>
				<verse number="28">පවුල් අනුව ජෝසෙප්ගේ පරපුර මනස්සේ සහ එප්‍රායිම්ගෙන් ය.</verse>
				<verse number="29">මනස්සේගේ පරපුර නම්, මාකීර් පවුල ය. මාකීර්ට දාව ගිලියද් උපන්නේ ය. මොහුගෙන් පැවතෙන පවුල ගිලියද් පවුල ය.</verse>
				<verse number="30">ගිලියද්ගේ පරපුර නම්, ඊයෙසෙර්ගෙන් පැවතෙන ඊයෙසෙර් පවුල ය; හේලෙක්ගෙන් පැවතෙන හේලෙක් පවුල ය;</verse>
				<verse number="31">අශ්‍රීයෙල්ගෙන් පැවතෙන අශ්‍රීයෙල් පවුල ය; ෂෙකෙම්ගෙන් පැවතෙන ෂෙකෙම් පවුල ය;</verse>
				<verse number="32">ෂෙමිදාගෙන් පැවතෙන ෂෙමිදා පවුල ය; හේපෙර්ගෙන් පැවතෙන හේපෙර් පවුල ය.</verse>
				<verse number="33">හෙපෙර්ගේ පුත් ශෙලෝපෙහාද්ට දූවරුන් මිස පුත්‍රයෝ නොසිටියහ. ඒ දූවරු නම් මාලා, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ශා ය.</verse>
				<verse number="34">මනස්සේගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන පණස්දෙදාස් හත්සියයක් ය.</verse>
				<verse number="35">පවුල් අනුව එප්‍රායිම්ගේ පරපුර නම්, ෂුතෙලාගෙන් පැවතෙන ෂුතෙලා පවුල ය; බෙකෙර්ගෙන් පැවතෙන බෙකෙර් පවුල ය; තහන්ගෙන් පැවතෙන තහන් පවුල ය.</verse>
				<verse number="36">ෂුතෙලාගේ පරපුර නම් එරාන්ගෙන් පැවතෙන එරාන් පවුල ය.</verse>
				<verse number="37">එප්‍රායිම්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන තිස්දෙදාස් පන්සියයක් ය. පවුල් අනුව ජෝසෙප්ගේ පරපුර මොවුහු ය.</verse>
				<verse number="38">පවුල් අනුව බෙන්ජමින්ගේ පරපුර නම්, බෙලාගෙන් පැවතෙන බෙලා පවුල ය; අෂ්බෙල්ගෙන් පැවතෙන අෂ්බෙල් පවුල ය; අහිරාම්ගෙන් පැවතෙන අහිරාම් පවුල ය;</verse>
				<verse number="39">ෂෙපුපාම්ගෙන් පැවතෙන ෂෙපුපාම් පවුල ය, හුපාම්ගෙන් පැවතෙන හුපාම් පවුල ය.</verse>
				<verse number="40">බෙලාගේ පරපුර ඔහුගේ පුත්‍රයන් වන ආර්ද් සහ නාමාන් ය. ඒ පරපුර ආර්ද්ගෙන් පැවතෙන ආර්ද් පවුල හා නාමාන්ගෙන් පැවතෙන නාමාන් පවුල ය.</verse>
				<verse number="41">බෙන්ජමින්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන සතළිස්පන්දාස් හයසියයක් ය.</verse>
				<verse number="42">පවුල් අනුව දාන්ගේ පරපුර නම් ෂුහාම්ගෙන් පැවතෙන ෂුහාම් පවුල ය. දාන්ගේ පරපුරට අයත් පවුල එය වේ.</verse>
				<verse number="43">ෂුහාම්ගේ මුළු පරපුරේ ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හැටහාරදහස් හාරසියයක් ය.</verse>
				<verse number="44">පවුල් අනුව ආෂෙර්ගේ පරපුර නම්, ඉම්නාගෙන් පැවතෙන ඉම්නා පවුල ය; ඉෂ්වීගෙන් පැවතෙන ඉෂ්වී පවුල ය; බෙරියාගෙන් පැවතෙන බෙරියා පවුල ය;</verse>
				<verse number="45">බෙරියාගේ පරපුර නම්, හේබෙර්ගෙන් පැවතෙන හේබෙර් පවුල ය. මල්කියෙල්ගෙන් පැවතෙන මල්කියෙල් පවුල ය.</verse>
				<verse number="46">ආෂෙර්ගේ දුව සෙරා ය.</verse>
				<verse number="47">ආෂෙර්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන පණස්තුන්දාස් හාරසියයක් ය.</verse>
				<verse number="48">පවුල් අනුව නප්තලීගේ පරපුර නම්, ජාශීල්ගෙන් පැවතෙන ජාශීල් පවුල ය; ගුණීගෙන් පැවතෙන ගුණී පවුල ය,</verse>
				<verse number="49">ජේශෙර්ගෙන් පැවතෙන ජේශෙර් පවුල ය; ෂිල්ලෙම්ගෙන් පැවතෙන ෂිල්ලෙම් පවුල ය.</verse>
				<verse number="50">නප්තලීගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හතළිස්පන්දාස් හාරසියයක් ය.</verse>
				<verse number="51">ඉශ්රායෙල් ජනයා අතරින් ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හයලක්ෂ එක්දාස් හත්සිය තිස්දෙනෙකි.</verse>
				<verse number="52">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,</verse>
				<verse number="53">“ලියාපදිංචි කළ අයගේ ගණන හැටියට, මොවුන්ට මේ රට උරුම කොට බෙදා දිය යුතු ය.</verse>
				<verse number="54">ගණනින් වැඩි අයට උරුමය වශයෙන් ලොකු කොටසක් ද, ගණනින් අඩු අයට කුඩා කොටසක් ද දිය යුතු ය. මෙලෙස ලියාපදිංචි කළ සංඛ්‍යා ප්‍රමාණයට අනුව ඔවුන්ට උරුමය බෙදා දිය යුතු වේ.</verse>
				<verse number="55">එහෙත්, රට බෙදා පංගු කිරීම කළ යුත්තේ දාදු දැමීමෙනි. ඔවුනොවුන්ගේ පිය පෙළපත්හි ගෝත්‍ර නාම අනුව උරුමය හිමි විය යුතු ය.</verse>
				<verse number="56">මෙලෙස ගණනින් වැඩි අයටත්, අඩු අයටත් දාදු දැමීමෙන් රට උරුම කර දෙනු ලැබේ”යි වදාළ සේක.</verse>
				<verse number="57">ලියාපදිංචි කළ ලෙවීවරුන්ගේ ගණනට ඇතුළත් වූ අය නම්, ගේර්ෂොන්ගෙන් පැවතෙන ගේර්ෂොන් පවුල ය; කොහාත්ගෙන් පැවතෙන කොහාත් පවුල ය; මෙරාරීගෙන් පැවතෙන මෙරාරී පවුල ය.</verse>
				<verse number="58">ලෙවීවරුන්ගේ සංඛ්‍යාවට ඇතුළත් වූ තවත් පවුල් නම්, ලිබ්නිවරුන්ගේ පවුල ය; හෙබ්‍රොන්වරුන්ගේ පවුල ය; මාලීවරුන්ගේ පවුල ය, මුෂිවරුන්ගේ පවුල සහ කෝරාවරුන්ගේ පවුල ය. කොහාත්ට දාව අම්රාම් උපන්නේ ය.</verse>
				<verse number="59">අම්රාම්ගේ බිරිඳ ජොකෙබෙද් ය. ඈ මිසරයේ දී ලෙවීට දාව උපන් ඔහුගේ දුවකි. ඈ අම්රාම්ගෙන් ආරොන් හා මෝසෙස් ද, ඔවුන්ගේ සොහොයුරිය මීරියම් ද ලැබුවා ය.</verse>
				<verse number="60">ආරොන්ට දාව නාදාබ් සහ අබිහු ද, එලෙයාසර් සහ ඊතාමාර් ද උපන්හ.</verse>
				<verse number="61">නාදාබ් සහ අබිහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි අනියම් ගිනි ඔප්පු කළ විට මළහ.</verse>
				<verse number="62">මාසයක් සහ ඊට වඩා වයසැති, ලියාපදිංචි කළ මුළු පිරිමින්ගේ ගණන විසිතුන්දාහකි. ඉශ්රායෙල් ජනයා අතර ඔවුන්ට උරුම කොට යමක් නුදුන් බැවින්, මොවුහු ඉශ්රායෙල් ජනයාගේ සංගණනයට ඇතුළත් නොකරන ලදහ.</verse>
				<verse number="63">මෙසේ ජොර්දාන් ගඟබඩ ජෙරිකෝව අසල මෝවබ් මිටියාවතෙහි මෝසෙස් සහ පූජක එලෙයාසර් විසින් ඉශ්රායෙල් ජනයා ලියාපදිංචි කරන ලදහ.</verse>
				<verse number="64">එහෙත්, සීනයි පාළුකරයේ දී මෝසෙස් සහ පූජක ආරොන් ඉශ්රායෙල් ජනයා ලියාපදිංචි කරන විට සිටි අයගෙන් එක් කෙනෙක් වත්, මෙහි නොසිටියේ ය.</verse>
				<verse number="65">ඔවුන් පාළුකරයේ ම මියයන බව සමිඳාණන් වහන්සේ කියා තිබිණි. මෙලෙස ජෙපුන්නේගේ පුත් කාලෙබ් ද, නූන්ගේ පුත් ජෝෂුවා ද හැර ඔවුන්ගෙන් කිසිවෙක් ඔවුන් අතර ඉතුරු නො වූ හ.</verse>
			</chapter>
			<chapter number="27">
				<verse number="1">ඒ සමයෙහි ජෝසෙප්ගේ පුත්‍රයා වන මනස්සේගේ පරපුරෙන් පැවති මාකීර්ගේ පුත්‍රයා වන ගිලියද්ගේ පුත්‍ර වූ හේපෙර්ගේ පුත්‍රයා වන ශෙලෝපෙහාද්ගේ දූවරු නම් මාලා, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ශා ය.</verse>
				<verse number="2">ඔව්හු මෝසෙස් ද පූජක එලෙයාසර් ද ප්‍රජා මූලිකයන් හා මුළු ජනතාව ද ඉදිරිපිට සම්මුඛ මණ්ඩපයේ දොරකඩ ළඟ සිටගෙන,</verse>
				<verse number="3">“අපේ පියා පාළුකරයේ දී මළේ ය. සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලිගැසූ කෝරාගේ පිරිසට ඔහු අයත් නො වී ය. ඔහු මළේ තමාගේ පාපය නිසා ම ය. ඔහුට පුත්තු නොසිටිය හ.</verse>
				<verse number="4">ඔහුට පුතෙකු නැති බැවින් අප පියාගේ නම ඔහුගේ පරපුරෙන් මැකී යා යුත්තේ මන් ද? එබැවින් අප පියාගේ සොහොයුරන් අතරෙන් කොටසක් උරුම වශයෙන් අපට දෙන්නැ”යි ඉල්ලූ හ.</verse>
				<verse number="5">මෝසෙස් ද ඔවුන්ගේ මේ කරුණ සමිඳාණන් වහන්සේට ඉදිරිපත් කෙළේ ය.</verse>
				<verse number="6">එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,</verse>
				<verse number="7">“ශෙලෝපෙහාද්ගේ දූවරුන්ගේ ඉල්ලීම සාධාරණ ය. නුඹ ඔවුන්ගේ පියාගේ සොහොයුරන්ට හිමි කොටස ඔවුන්ට උරුම කොට දිය යුතු ය. මෙලෙස නුඹ ඔවුන්ගේ පියාගේ උරුමය ඔවුන්ට අයිති වීමට සැලසිය යුතු ය.</verse>
				<verse number="8">නුඹ ද ඉශ්රායෙල් ජනයා අමතා මෙය කියන්න: ‘යම් මිනිසෙකු පුතෙකු නොලැබ මියගියොත්, ඔහුගේ උරුමය ඔහුගේ දුවට අයිති වීමට සැලසිය යුතු ය.</verse>
				<verse number="9">ඔහුට දුවක් නැති නම්, ඒ උරුමය ඔහුගේ සහෝදරයන්ට දිය යුතු ය.</verse>
				<verse number="10">සහෝදරයෝ නැති නම්, ඔහුගේ පියාගේ සොහොයුරන්ට නුඹ ඒ උරුමය දිය යුතු ය.</verse>
				<verse number="11">ඔහුගේ පියාට සොහොයුරන් ද නැති නම් ඔහුගේ පියාගේ පවුලේ කිට්ටු ම නෑයෙකුට එය දිය යුතු ය. ඒ නෑයාට එය සින්නක්කරේට අයිති වනු ඇත. සමිඳාණන් වහන්සේ වන මම මෝසෙස් වන නුඹට අණ කළ පරිදි මේ ය. ඉශ්රායෙල් ජනයා කෙරෙහි මෙය සදහට ම වලංගු නීතියක් විය යුතු ය”යි වදාළ සේක.</verse>
				<verse number="12">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹ මේ අබාරීම් කන්දට නැඟ මා ඉශ්රායෙල් ජනයාට දුන් දේශය නරඹන්න.</verse>
				<verse number="13">නුඹ එය නැරඹුව පසු නුඹේ සොහොයුරා වූ ආරොන් මේ දිවියෙන් පසු සිය ජනතාව හා එක්වූවා සේ නුඹ ද මේ දිවියෙන් පසු නුඹේ ජනතාව සමඟ එක් වනු ඇත.</verse>
				<verse number="14">මන්ද, නුඹලා දෙදෙන ශීන් නම් පාළුකරයේ දී මගේ අණට විරුද්ධ ව කැරලි ගැසුවහු ය. මෙරිබාහී දී මුළු ජනතාව මැසිවිලි කියද්දී නුඹලා දෙදෙන ඔවුන් ඉදිරියෙහි මාගේ බල මහිමය පිළිගැනීමට අකමැති වූවාහු ය”යි වදාළ සේක. (මෙරිබා වනාහි ශීන් පාළුකරයේ කාදේශ්හි ඇති උල්පතකි.)</verse>
				<verse number="15">මෝසෙස් උන් වහන්සේට කතා කොට,</verse>
				<verse number="16">“එසේ නම්, සව් සතට ජීවය දෙන දෙවි සමිඳාණන් වහන්සේ සෙනඟ පාලනය කිරීමට කෙනෙකු පත් කරන සේක් වා!</verse>
				<verse number="17">එවිට සමිඳාණන් වහන්සේගේ ජනතාව, එඬේරෙකු නැති බැටළු රැළක් නොවනු පිණිස, ඒ තැනැත්තාට ඔවුන් ඉදිරියෙහි යාමටත්, ඔවුන් පසුපස යාමටත්, ඔවුන් පිටතට ගෙන යාමටත්, ඇතුළට ආපසු ගෙන ඒමටත් හැකි වනු ඇතැ”යි කී ය.</verse>
				<verse number="18">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට මෙසේ වදාළ සේක: “නූන්ගේ පුත්‍ර වූ, දක්ෂ කෙනෙකු වන ජෝෂුවා කැඳවා, ඔහු මත නුඹේ අත් තබන්න.</verse>
				<verse number="19">ඉන්පසු පූජක එලෙයාසර් සහ මුළු ජනතාව ඉදිරිපිට ඔහු සිටුවා, ඔවුන් බලාගෙන සිටිය දී ඔහුට වගකීම පවරන්න.</verse>
				<verse number="20">මුළු ඉශ්රායෙල් ජනතාව ඔහුට කීකරු වන පිණිස නුඹේ ආණ්ඩු බලයෙන් කොටසක් ඔහුට දෙන්න.</verse>
				<verse number="21">ඔහු එලෙයාසර් පූජකවරයා ඉදිරියෙහි පෙනී සිටිය යුතු ය. මේ පූජකවරයා මා ඉදිරියෙහි උරීම් කැට භාවිත කිරීමෙන් ඔහු විමසනු ඇත. මෙසේ පූජකවරයා විධාන කිරීමෙන් ඔහුට ද මුළු ඉශ්රායෙල් ජනතාවට ද මඟපෙන්වනු ඇත.”</verse>
				<verse number="22">සමිඳාණන් වහන්සේ වදාළ පරිදි මෝසෙස් ඉටු කෙළේ ය. ඔහු ජෝෂුවා කැඳවා පූජක එලෙයාසර් සහ මුළු ජනතාව ඉදිරියෙහි සිටුවා,</verse>
				<verse number="23">ඔහු මත තම අත් තබා උන් වහන්සේ අණ කළ පරිදි ඔහුට වගකීම පැවරී ය.</verse>
			</chapter>
			<chapter number="28">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“ඉශ්රායෙල් ජනයාට මෙසේ අණ කරන්න: ‘සුමිහිරි සුවඳක් මෙන් මට ප්‍රසන්න, ගින්නෙන් දවා මට පුදන ආහාර පඬුරු නියමිත කාලයේ දී ඔප්පු කළ යුතු ය.’ ”</verse>
				<verse number="3">“නුඹ ඔවුන්ට මෙය කිව යුතු ය: ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පිදිය යුතු පඬුර නම්, අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දෙදෙනෙකි. මෙය දිනපතා ම දවන යාග පූජාවක් මෙන් ඔප්පු කළ යුතු ය.</verse>
				<verse number="4">එක බැටළු පැටවකු උදය ද, අනිකා සවස ද ඔප්පු කළ යුතු ය.</verse>
				<verse number="5">සිහින් පිටි කිලෝග්‍රෑම් එකක් ධාන්‍ය පූජාවක් වශයෙන් ගෙන, ඊට ඉස්තරම් තෙල් ලීටර් එකක් මිශ්‍ර කර එක එක බැටළු පැටවා සමඟ ඔප්පු කළ යුතු වේ.</verse>
				<verse number="6">මෙය වනාහි සුමිහිරි සුවඳක් මෙන් සමිඳාණන් වහන්සේට ප්‍රසන්න, ගින්නෙන් දවා සීනයි කන්දේ දී පිදීමට නියම, සදහට ම වලංගු, දවන යාග පූජාවකි.</verse>
				<verse number="7">ඒ බැටළු පැටවා සමඟ පානීය පූජාව වශයෙන්, ශුද්ධස්ථානය තුළ සමිඳාණන් වහන්සේගේ මහිමය සඳහා, සැර මිදියුස ලීටර් එකක් වත් කොට පිදිය යුතු ය.</verse>
				<verse number="8">අනික් බැටළු පැටවා සවස ඔප්පු කළ යුතු ය. උදය පිදූ ධාන්‍ය පූජාව සහ පානීය පූජාව පරිදි සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් මෙන්, එය ගින්නෙන් දවා ඔප්පු කළ යුතු ය.”</verse>
				<verse number="9">“අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දෙදෙනෙකු ද, ධාන්‍ය පූජාවක් වශයෙන් සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකකට තෙල් මිශ්‍ර කර එය ද, පානීය පූජාව ද, සබත් දින ඔප්පු කළ යුතු ය.</verse>
				<verse number="10">නිරන්තර දවන යාග පූජාව සහ ඊට අදාළ පානීය පූජාවට අමතර ව, ඒ ඒ සබත් දින පුද කළ යුතු දවන යාග පූජාව මෙය වේ.”</verse>
				<verse number="11">“මාසය ආරම්භයේ දී නුඹලා සමිඳාණන් වහන්සේට දවන යාග පූජාවක් ඔප්පු කළ යුතු වේ. එය නම්, ගොන් වස්සන් දෙදෙනෙක් ද, බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවු හත්දෙනෙක් ද වෙති.</verse>
				<verse number="12">එක එක ගොන් වස්සෙකු සමඟ ධාන්‍ය පූජාවක් වශයෙන් සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් සමඟ තෙල් මිශ්‍ර කර, එක එක බැටළු වස්සා සමඟ ධාන්‍ය පූජාවක් වශයෙන් සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකකට තෙල් මිශ්‍ර කර,</verse>
				<verse number="13">එක එක බැටළු පැටවා සමඟ සිහින් පිටි කිලෝග්‍රෑම් එකකට තෙල් මිශ්‍ර කර, ඒවා ද ඔප්පු කළ යුතු ය. මේවා සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේ වෙත නඟින ගින්නෙන් දවා උන් වහන්සේට පිදූ දවන යාග පූජාවකි.</verse>
				<verse number="14">පිදිය යුතු පානීය පූජාව නම් එක එක ගොන් වස්සෙකු සමඟ මිදියුස ලීටර් දෙකකි, බැටළු වස්සා සමඟ මිදියුස ලීටර් එකහමාරකි, එක එක බැටළු පැටියා සමඟ මිදියුස ලීටර් එකකි. අවුරුද්දේ සෑම මාසයක ම මේ දවන යාග පූජාව පිදිය යුතු ය.</verse>
				<verse number="15">මේ නිරන්තර දවන යාග පූජාව සහ පානීය පූජාවට අමතර ව, පාප පූජාවක් වශයෙන් එළුවෙකු ද සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය.”</verse>
				<verse number="16">“පළමු වන මාසයේ දහහතර වන දින සමිඳාණන් වහන්සේගේ පාස්කුව ය.</verse>
				<verse number="17">ඒ මාසයේ පසළොස් වන දින මංගල්‍ය පටන්ගනු ලැබේ. දින හතක් ම නුමුහුන් රොටි අනුභව කළ යුතු ය.</verse>
				<verse number="18">පළමු වන දින ශුද්ධ නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි ම බර වැඩක් නොකළ යුතු ය.</verse>
				<verse number="19">නුඹලා සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා දවන යාග පූජාවක් පිදිය යුතු ය. එය නම්, කැළැල් නැති ගොන් වස්සන් දෙන්නෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවු හත්දෙනෙක් ද වෙති.</verse>
				<verse number="20">ධාන්‍ය පූජාව වශයෙන් තෙල් මිශ්‍ර කළ සිහින් පිටි ද පිදිය යුතු ය. ගොන් වස්සෙකු සඳහා සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද බැටළු වස්සෙකු සඳහා පිටි කිලෝග්‍රෑම් දෙකක් ද,</verse>
				<verse number="21">එක එක බැටළු පැටියෙකු සඳහා පිටි කිලෝග්‍රෑම් එකක් ද, ඔප්පු කළ යුතු ය.</verse>
				<verse number="22">නුඹලා පව් කමාව ලබාගැනීම සඳහා, පාප පූජාවක් වශයෙන් එක එළුවෙකු ඔප්පු කළ යුතු ය.</verse>
				<verse number="23">සෑම දින ම උදය පුදන දවන යාග පූජාවට අමතර ව, නුඹලා මේවා පිදිය යුතු වේ.</verse>
				<verse number="24">මෙලෙස දවස් හතක් තුළ හැම දා ම ඔප්පු කළ යුතු ය. ගින්නෙන් දවා පුදන මේ ධාන්‍ය පූජා සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේට ප්‍රසන්න ය. නිරන්තර දවන යාග පූජාවට හා ඊට අදාළ පානීය පූජාවට අමතර ව එය ඔප්පු කළ යුතු ය.</verse>
				<verse number="25">හත් වන දින නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි ම බර වැඩක් නොකළ යුතු වේ.”</verse>
				<verse number="26">“සති මංගල්‍යයේ දී, අස්වැන්න මංගල්‍යයේ පළමු වන දින නුඹලා සමිඳාණන් වහන්සේට අලුත් ධාන්‍ය පූජාව ඔප්පු කරන විට නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි ම බර වැඩක් නොකළ යුතු වේ.</verse>
				<verse number="27">එහෙත්, එදින සුමිහිරි සුවඳක් මෙන් සමිඳාණන් වහන්සේ වෙත නඟින දවන යාග පූජාව ඔප්පු කළ යුතු ය. එය නම් ගොන් වස්සන් දෙන්නෙක් ද, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවු හත්දෙනෙක් ද වෙති.</verse>
				<verse number="28">මේවා සමඟ පිදිය යුතු තෙල් ඇනූ ධාන්‍ය පූජා නම්, එක එක ගොන් වස්සෙකු සමඟ සිහින් පිටි කිලෝග්‍රෑම් තුනකි, එක බැටළු වස්සෙකු සමඟ පිටි කිලෝග්‍රෑම් දෙකක් ද</verse>
				<verse number="29">එක එක බැටළු පැටවා සමඟ පිටි කිලෝග්‍රෑම් එක බැගින් ද වේ.</verse>
				<verse number="30">නුඹලාට පව් කමාව ලබාගැනීම සඳහා එක එළුවෙකු ද පිදිය යුතු ය.</verse>
				<verse number="31">නිරන්තර දවන යාග පූජාවට ද කැළැල් නැති සතුන් විය යුතු ය. පුදන ධාන්‍ය පූජාවට අමතර ව පානීය පූජාව ද ඉහත කී පූජා ද ඔප්පු කළ යුතු ය.</verse>
			</chapter>
			<chapter number="29">
				<verse number="1">“හත් වන මාසයේ පළමු වන දින නුඹලා නමස්කාරය පිණිස රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින බර වැඩ නොකළ යුතු ය. එදින, හොරණෑ පිඹීමේ දවසකි.</verse>
				<verse number="2">නුඹලා සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේ වෙත නඟින දවන යාග පූජාවක් ඔප්පු කළ යුතු ය. ඒ පූජාව නම්, එක ගොන් වස්සෙක් ද, එක බැටළු වස්සෙක් හා අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් හත්දෙනෙක් ද වෙති.</verse>
				<verse number="3">ඒවා සමඟ පුදන ධාන්‍ය පූජා නම් තෙල් ඇනූ සිහින් පිටි ය. එක ගොන් වස්සෙකු සමඟ පිටි කිලෝග්‍රෑම් තුනක් ද එක බැටළු වස්සෙකු සමඟ පිටි කිලෝග්‍රෑම් දෙකක් ද</verse>
				<verse number="4">එක එක බැටළු පැටවා සමඟ පිටි කිලෝග්‍රෑම් එක බැගින් ද ඔප්පු කළ යුතු ය.</verse>
				<verse number="5">තවද, ඔබට පව් කමාව ලබාගැනීම සඳහා පාප පූජාවක් වශයෙන් එක එළුවෙකු පිදිය යුතු ය.</verse>
				<verse number="6">මේවා මේ පිළිවෙළට පිදිය යුත්තේ මාසික දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට ද දෛනික දවන යාග පූජාවට ද පානීය පූජාවට ද අමතර ව ය. මේවා ගින්නෙන් දවා පිදූ විට සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳකි.</verse>
				<verse number="7">“හත් වන මාසයේ දහ වන දින නමස්කාරය පිණිස රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින උපවාස කර, කිසි වැඩක් නොකළ යුතු ය.</verse>
				<verse number="8">එහෙත් එදින නුඹලා සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේ වෙත නඟින දවන යාග පූජාවක් උන් වහන්සේට ඔප්පු කළ යුතු ය. ඒ පූජාව නම්, කැළැල් නැති එක ගොන් වස්සෙක් ද, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවු හත්දෙනෙක් ද වෙති.</verse>
				<verse number="9">ඒවා සමඟ පුදන ධාන්‍ය පූජාව නම් තෙල් ඇනූ සිහින් පිටි ය. ගොන් වස්සා සමඟ පිටි කිලෝග්‍රෑම් තුනක් ද, බැටළු වස්සා සමඟ පිටි කිලෝග්‍රෑම් දෙකක් ද,</verse>
				<verse number="10">එක එක බැටළු පැටවා සමඟ පිටි කිලෝග්‍රෑම් එක බැගින් ද ඔප්පු කළ යුතු ය.</verse>
				<verse number="11">පාප පූජාවට එක එළුවෙකු පිදිය යුතු ය. මෙය පව් කමාවේ පාප පූජාවට ද නිරන්තර දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට ද පානීය පූජාවට ද අමතර ව ය.”</verse>
				<verse number="12">“හත් වන මාසයේ පසළොස් වන දින නුඹලා නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින බර වැඩ නොකළ යුතු ය. සමිඳාණන් වහන්සේගේ ගෞරවයට දින හතක් ම මංගල්‍යය පැවැත්විය යුතු ය.</verse>
				<verse number="13">තවද, සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේ වෙත නඟින දවන යාග පූජාවක් ගින්නෙන් දවා උන් වහන්සේට ඔප්පු කළ යුතු ය. ඒ පූජාව නම්, කැළැල් නැති ගොන් වස්සන් දහතුන්දෙනෙක් ද, බැටළු වස්සන් දෙන්නෙක් හා අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දහහතරදෙනක් ද වෙති.</verse>
				<verse number="14">ධාන්‍ය පූජාව වශයෙන් තෙල් ඇනූ සිහින් පිටි පිදිය යුතු ය. එක එක ගොන් වස්සෙකු සමඟ පිටි කිලෝග්‍රෑම් තුනක් ද, එක එක බැටළු වස්සෙකු සමඟ පිටි කිලෝග්‍රෑම් දෙකක් ද</verse>
				<verse number="15">එක එක බැටළු පැටවා සමඟ පිටි කිලෝග්‍රෑම් එක බැගින් ද ඔප්පු කළ යුතු ය.</verse>
				<verse number="16">නිරන්තර දවන යාග පූජාවට ද පානීය පූජාවට ද ධාන්‍ය පූජාවට ද අමතර ව, පාප පූජාව සඳහා එළුවෙකු ද පිදිය යුතු ය.</verse>
				<verse number="17">“දෙ වන දවසේ දී ගොන් වස්සන් දොළොස්දෙනෙකු ද බැටළු වස්සන් දෙදෙනෙකු ද අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දහහතරදෙනෙකු ද ඔප්පු කළ යුතු ය.</verse>
				<verse number="18">ගොන් වස්සන්, බැටළු වස්සන් සහ බැටළු පැටවුන් සමඟ පුදන ධාන්‍ය පූජාව සහ පානීය පූජා, නියෝග ප්‍රකාර, ඔවුන්ගේ සංඛ්‍යාව අනුව ගණන් ගත යුතු ය.</verse>
				<verse number="19">නිරන්තර දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට හා පානීය පූජාවලට ද අමතර ව පාප පූජාව සඳහා එක එළුවෙකු ඔප්පු කළ යුතු ය.</verse>
				<verse number="20">තුන් වන දවසේ දී ගොන් වස්සන් එකළොස්දෙනෙකු ද බැටළු වස්සන් දෙදෙනෙකු ද අවුරුද්දක් වයසැති කැළැල් රහිත බැටළු පැටවුන් දහහතරදෙනෙකු ද ඔප්පු කළ යුතු ය.</verse>
				<verse number="21">ගොන් වස්සන්, බැටළු වස්සන් සහ බැටළු පැටවුන් සමඟ පුදන ධාන්‍ය පූජාව සහ පානීය පූජා නියෝග ප්‍රකාර ඔවුන්ගේ සංඛ්‍යාව අනුව ගණන් ගත යුතු ය.</verse>
				<verse number="22">නිරන්තර දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට හා පානීය පූජාවලට ද අමතර ව පාප පූජාව සඳහා එක එළුවෙකු ඔප්පු කළ යුතු ය.</verse>
				<verse number="23">“සතර වන දවසේ දී ගොන් වස්සන් දහදෙනක් ද බැටළු වස්සන් දෙදෙනෙකු ද අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දහහතරදෙනෙකු ද ඔප්පු කළ යුතු ය.</verse>
				<verse number="24">ගොන් වස්සන්, බැටළු වස්සන් සහ බැටළු පැටවුන් සමඟ පුදන ධාන්‍ය පූජාව සහ පානීය පූජා නියෝග ප්‍රකාර, ඔවුන්ගේ සංඛ්‍යාව අනුව ගණන් ගත යුතු ය.</verse>
				<verse number="25">නිරන්තර දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට හා පානීය පූජාවලට ද අමතර ව පාප පූජාව සඳහා එක එළුවෙකු ඔප්පු කළ යුතු ය.</verse>
				<verse number="26">“පස් වන දවසේ දී ගොන් වස්සන් නවදෙනකු ද බැටළු වස්සන් දෙදෙනෙකු ද අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දහහතරදෙනෙකු ද ඔප්පු කළ යුතු ය.</verse>
				<verse number="27">ගොන් වස්සන්, බැටළු වස්සන් සහ බැටළු පැටවුන් සමඟ පුදන ධාන්‍ය පූජාව සහ පානීය පූජා, නියෝග ප්‍රකාර, ඔවුන්ගේ සංඛ්‍යාව අනුව ගණන් ගත යුතු ය.</verse>
				<verse number="28">නිරන්තර දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට සහ පානීය පූජාවලට ද අමතර ව පාප පූජාව සඳහා එක එළුවෙකු ඔප්පු කළ යුතු ය.</verse>
				<verse number="29">“හය වන දවසේ දී ගොන් වස්සන් අටදෙනෙකු ද බැටළු වස්සන් දෙදෙනෙකු ද අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දහහතරදෙනෙකු ද ඔප්පු කළ යුතු ය.</verse>
				<verse number="30">ගොන් වස්සන්, බැටළු වස්සන් සහ බැටළු පැටවුන් සමඟ පුදන ධාන්‍ය පූජාව සහ පානීය පූජා, නියෝග ප්‍රකාර, ඔවුන්ගේ සංඛ්‍යාව අනුව ගණන් ගත යුතු ය.</verse>
				<verse number="31">නිරන්තර දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට හා පානීය පූජාවට ද අමතර ව පාප පූජාව සඳහා එක එළුවෙකු ඔප්පු කළ යුතු ය.</verse>
				<verse number="32">“හත් වන දවසේ දී ගොන් වස්සන් හත්දෙනෙකු ද බැටළු වස්සන් දෙදෙනෙකු ද අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දහහතරදෙනෙකු ද ඔප්පු කළ යුතු ය.</verse>
				<verse number="33">ගොන් වස්සන්, බැටළු වස්සන් සහ බැටළු පැටවුන් සමඟ පුදන ධාන්‍ය පූජාව සහ පානීය පූජා, නියෝග ප්‍රකාර, ඔවුන්ගේ සංඛ්‍යා අනුව ගණන් ගත යුතු ය.</verse>
				<verse number="34">නිරන්තර දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට සහ පානීය පූජාවට ද අමතර ව පාප පූජාව සඳහා එක එළුවෙකු ඔප්පු කළ යුතු ය.</verse>
				<verse number="35">“අට වන දවසේ දී නමස්කාරය පිණිස ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි බර වැඩක් නොකළ යුතු ය.</verse>
				<verse number="36">සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේ වෙත නඟින, ගින්නෙන් දවා පිදූ දවන යාග පූජාවක් උන් වහන්සේට ඔප්පු කළ යුතු ය. ඒ පූජාව සඳහා එක ගොන් වස්සෙකු ද එක බැටළු වස්සෙකු ද අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් හත්දෙනෙකු ද ගත යුතු ය.</verse>
				<verse number="37">ගොන් වස්සා, බැටළු වස්සා සහ බැටළු පැටවුන් සමඟ පුදන ධාන්‍ය පූජාව සහ පානීය පූජා නියෝග ප්‍රකාර, ඔවුන්ගේ සංඛ්‍යාව අනුව ගණන් ගත යුතු ය.</verse>
				<verse number="38">නිරන්තර දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට හා පානීය පූජාවට ද අමතර ව පාප පූජාව සඳහා එක එළුවෙකු ද ඔප්පු කළ යුතු ය.</verse>
				<verse number="39">“නුඹලාගේ දවන යාග පූජාවලට ද ධාන්‍ය පූජා සහ පානීය පූජාවලට ද සහභාගිකමේ පූජාවලට ද අමතර ව මේවා නියමිත මංගල්‍ය දිනවල දී සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය. තවද, මේවා පිදිය යුත්තේ බාරවලට පුදන පඬුරු හා ස්වේච්ඡා පඬුරුවලටත් අමතර ව ය.”</verse>
				<verse number="40">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල අනුව ඔහු ඉශ්රායෙල් ජනයාට දැන්වී ය.</verse>
			</chapter>
			<chapter number="30">
				<verse number="1">මෝසෙස් ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍ර මූලිකයන්ට කතා කොට මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ අණ කළ දේ මෙය වේ:</verse>
				<verse number="2">‘යම් පුරුෂයෙකු සමිඳාණන් වහන්සේට බාරයක් වුවහොත්, නැත්නම්, යම් කිසි දෙයකින් වැළකෙන හැටියට දිවුරුමක් දුන්නොත්, ඔහු තම වචනය කඩ නොකළ යුතු ය. තමා කී පරිදි සියල්ල ඉටු කළ යුතු ය.</verse>
				<verse number="3">‘යම් කිසි තරුණ කාන්තාවක ඇගේ පියාගේ ගෘහයේ සිටිය දී, සමිඳාණන් වහන්සේට බාරයක් වී දිවුරුම් දුන් පසු,</verse>
				<verse number="4">‘ඇගේ පියා, ඈ කළ බාරය සහ ඈ යමකින් වැළකීමට ගත් පොරොන්දුව ගැන අසා ඔහු නිහඬ වුවහොත්, ඈ එම බාර ද යමකින් වැළකීමට ගත් පොරොන්දු ද සියල්ල ඉටු කළ යුතු ය.</verse>
				<verse number="5">එහෙත්, ඇගේ පියා ඒවා ගැන දැනගත් පසු, යම් දිනක ඒවා ඈට තහනම් කළොත්, ඈ කළ බාර හා යමකින් වැළකීමට ඈ දුන් පොරොන්දු කිසිත් ඉටු කිරීමට ඈ බැඳී නැත. ඇගේ පියා ඒවා ඈට තහනම් කළ බැවින් සමිඳාණන් වහන්සේ ද ඈට කමා කරන සේක.</verse>
				<verse number="6">‘තවද ඈ බාර වී හෝ යමකින් වැළකීමට පොරොන්දු දුන් පසු හෝ විවාහ වී</verse>
				<verse number="7">ඇගේ සැමියා ඒවා ගැන ඇසූ දිනක නිහඬ වන්නේ නම් ඈ කළ බාර හා දුන් පොරොන්දු සියල්ල ඉටු කළ යුතු ය.</verse>
				<verse number="8">එහෙත්, ඇගේ සැමියා එය අසා යම් දිනක ඈට ඒවා තහනම් කළොත්, ඈ කළ බාර ද යමකින් වැළකීමට දුන් පොරොන්දු ද කිසිවක් ඉටු කිරීමට ඈ බැඳී නැත. සමිඳාණන් වහන්සේ ද ඈට කමා කරන සේක.</verse>
				<verse number="9">‘වැන්දඹුවක හෝ දික්කසාද වූ ස්ත්‍රියක හෝ කළ බාර සහ දුන් පොරොන්දු සියල්ල ඔවුන් ඉටු කළ යුතු ය.</verse>
				<verse number="10">‘විවාහක ස්ත්‍රියක බාරයක් වී හෝ යමකින් වැළකීමට පොරොන්දු දුන් පසු හෝ</verse>
				<verse number="11">ඇගේ සැමියා ඒ ගැන අසා ඔහු නිහඬ ව සිටිමින් ඈට ඒවා තහනම් නොකෙළේ නම්, ඈ කළ බාර සහ දුන් පොරොන්දු සියල්ල ඉටු කළ යුතු ය.</verse>
				<verse number="12">එහෙත්, ඇගේ සැමියා ඒවා ගැන ඇසූ යම් දිනක ඒවා අවලංගු කළොත්, ඈ කළ බාර සහ දුන් පොරොන්දු කිසිවක් ඉටු කිරීමට ඈ බැඳී නැත. ඇගේ සැමියා ඒවා අවලංගු කළ බැවින්, සමිඳාණන් වහන්සේ ද ඈට කමා කරන සේක.</verse>
				<verse number="13">විවාහක කාන්තාවක කරන බාර සහ යමකින් වැළකීමට දෙන පොරොන්දු වලංගු කිරීමට හෝ අවලංගු කිරීමට හෝ ඇගේ සැමියා හට බලය පැවරේ.</verse>
				<verse number="14">එහෙත්, ඇගේ සැමියා ඒවා ගැන දවසින් දවස නිහඬ ව සිටී නම්, ඈ කළ බාර සහ දුන් පොරොන්දු සියල්ල වලංගු ය. ඔහු ඒවා ගැන ඇසූ දින සිට ම නිහඬ ව සිටින බැවින් ඔහු ඒවා අනුමත කෙළේ ය යි සැලකේ.</verse>
				<verse number="15">එහෙත්, ඔහු ඒවා ගැන අසා කලක් ගිය පසු ඒවා අවලංගු කළොත්, ඈට පැවරෙන වරද ගැන ඔහු වරදකරුවා වනු ඇත.’ “</verse>
				<verse number="16">සැමියා සහ බිරිඳ අතර ද පියා සහ තම ගෙදර වසන තරුණ දුව අතර ද වලංගු වන, දෙවියන් වහන්සේ මෝසෙස්ට වදාළ නියෝග මේවා ය.</verse>
			</chapter>
			<chapter number="31">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා,</verse>
				<verse number="2">“මිදියන්වරුන් ඉශ්රායෙල් ජනයාට කළ දේ නිසා ඔවුන්ට දඬුවම් දෙන්න. මේ දිවියෙන් පසු නුඹ, නුඹේ සෙනඟ සමඟ එක් වනු ඇතැ’යි වදාළ සේක.</verse>
				<verse number="3">එවිට මෝසෙස් සෙනඟට කතා කොට, “ඔබගෙන් සමහරෙකු යුද්ධයට සැරසී, මිදියන්වරුන්ට විරුද්ධ ව ගොස්, ඔවුන් සමිඳාණන් වහන්සේට කළ දේ නිසා ඔවුන්ට දඬුවම් දිය යුතු ය.</verse>
				<verse number="4">එක එක ගෝත්‍රයෙන් දහස බැගින්, ඉශ්රායෙල්හි සියලු ම ගෝත්‍රවලින් සෙනඟ යා යුතු ය”යි කී ය.</verse>
				<verse number="5">මෙලෙස එක එක ගෝත්‍රයෙන් දහස බැගින් මුළු ඉශ්රායෙල් ජනතාව අතරෙන් දොළොස්දාහක් යුද්ධයට සන්නාහ සන්නද්ධ වූ හ.</verse>
				<verse number="6">මෝසෙස් මේ සෙනඟ ද පූජක එලෙයාසර්ගේ පුත් පිනෙහාස් ද ශුද්ධ භාජන සහ පිඹීමට හොරණෑ ද අතේ ඇති ව ඔවුන් යුද්ධයට යැවූ හ.</verse>
				<verse number="7">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔව්හු මිදියන්වරුන්ට විරුද්ධ ව සටන් කොට සියලු පිරිමින් මරාදැමූ හ.</verse>
				<verse number="8">ඔවුන්ගෙන් මැරුම්කෑ අය අතර එවී, රෙකෙම්, ශූර්, හුර් සහ රෙබා යන මිදියන් රජුන් පස්දෙනා ද වූ හ. තවද, ඔව්හු බෙයෝර්ගේ පුත් බාලාම් ද කඩුවෙන් මරාදැමූ හ.</verse>
				<verse number="9">ඉශ්රායෙල් ජනයා මිදියන් ස්ත්‍රීන් සහ දරුදැරියන් ද සිරබාරයට ගෙන ඔවුන්ගේ ගවමහිෂයන්, එළු බැටළු පට්ටි සහ ධනසම්පත් සියල්ල පැහැරගත්හ.</verse>
				<verse number="10">තවද, ඔවුන් විසූ නගර හා කඳවුරු සියල්ල ද ගිනිබත් කළහ.</verse>
				<verse number="11">එහෙත්, කොල්ලකාගත් සියල්ල ද සිරබාරයට ගත් මිනිසුන් සහ පැහැරගත් සතුන් ද තබාගත්හ.</verse>
				<verse number="12">ඉන්පසු ඔව්හු ජොර්දාන් ගං තෙර ජෙරිකෝව අසල මෝවබ් මිටියාවතේ කඳවුරේ සිටි මෝසෙස් ද පූජක එලෙයාසර් සහ මුළු ඉශ්රායෙල් ජනතාව ද වෙත සිරකරුවන් හා පැහැරගත් කොල්ලය ද ගෙනාහ.</verse>
				<verse number="13">එවිට මෝසෙස්, පූජක එලෙයාසර් සහ ජනතාවගේ නායකයෝ සියලු දෙන ඔවුන් හමු වීමට කඳවුරෙන් පිටත ගියහ.</verse>
				<verse number="14">එහෙත්, මෝසෙස් සටනින් ආපසු පැමිණි හමුදාවේ නිලධාරීන්, සහශ්‍රාධිපතීන් සහ ශතාධිපතීන් සමඟ කිපිණි.</verse>
				<verse number="15">මෝසෙස් ඔවුන්ට කතා කොට, “ඔබ හැම මේ ස්ත්‍රීන් සියල්ලන් පණපිටින් ඉතුරු කළහු ද?</verse>
				<verse number="16">බලන්න, පේයොර් නම් ස්ථානයේ දී, බාලාම්ගේ උපදෙස් පිට ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව අපරාධ කෙළේ මොවුන් නිසා ය. සමිඳාණන් වහන්සේගේ ජනතාව අතර වංසගතයක් පැතිර ගියේත් ඒ නිසා ම ය.</verse>
				<verse number="17">දැන් ඉතින් කුඩාවූවන් අතර සියලු පිරිමි දරුවන් ද මිනිසෙකු සමඟ සයනය කළ සෑම ස්ත්‍රියක ද මරන්න.</verse>
				<verse number="18">එහෙත්, පුරුෂයින් හැඳින ඔවුන් සමඟ සේවනයෙහි නොයෙදුණු ගැහැණු දරුවන් ඔබ හැම සඳහා ඉතුරු කරගන්න.</verse>
				<verse number="19">තවද, යමෙකු මැරූ අය ද මැරුම්කෑ කෙනෙකු ස්පර්ශ කළ අය ද හත් දිනක් කඳවුරෙන් බැහැර සිටිය යුතු ය. තුන් වන දින සහ සත් වන දින ඔබ ද සිරකරුවන් ද පවිත්‍ර විය යුතු ය.</verse>
				<verse number="20">ඔබ හැමගේ වස්ත්‍ර ද සමින් සහ එළු ලොමින් සහ ලීයෙන් සාදන ලද සියල්ල ද පවිත්‍ර කළ යුතු ය”යි කීවේ ය.</verse>
				<verse number="21">පූජක එලෙයාසර් ද යුද්ධ කළ මිනිසුන් අමතමින්, “සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ නියෝගය මෙය වේ.</verse>
				<verse number="22">‘ගින්නෙන් පිළිස්සී නොයන රන්, රිදී, ලෝකඩ, යකඩ සහ ඊයම් වැනි දේවල් ගින්නේ දවාගත් විට ඒවා පවිත්‍ර යයි සැලකෙනු ඇත. එහෙත්, අපවිත්‍රකම පහකරන ජලයෙනුත් ඒවා, පවිත්‍ර කළ යුතු ය. ගින්නෙන් පිළිස්සී යන අනිකුත් ඒවා ජලයේ දමා ගත යුතු ය.</verse>
				<verse number="23">***</verse>
				<verse number="24">හත් වන දින ඔබේ ඇඳුම් සෝදාගත් පසු ඔබ පවිත්‍ර වනු ඇත. ඉන්පසු ඔබට කඳවුරට ඇතුළු විය හැකි ය’යි” කී ය.</verse>
				<verse number="25">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,</verse>
				<verse number="26">“නුඹ ද පූජක එලෙයාසර් ද ජනතාවගේ ප්‍රධානීන් ද අල්ලාගත් සිරකරුවන් සහ පැහැරගත් සතුන් ද ගණන් කළ යුතු ය.</verse>
				<verse number="27">ඒ සියල්ල යුද වැදී සටන් කළ අය සහ ඉතිරි අනිත් ජනයා අතර දෙකොටසකට බෙදන්න.</verse>
				<verse number="28">තවද, සටන් කළ භටයන්ට අයිති කොටසින්, මිනිසුන් පන්සියයකට එක්කෙනා බැගිනුත් ගවයන්ගෙන් ද කොටළුවන්ගෙන් ද එළු බැටළුවන්ගෙන් ද පන්සියයකට එකෙකු බැගිනුත් සමිඳාණන් වහන්සේට දෙන බද්දක් මෙන් වෙන් කරන්න.</verse>
				<verse number="29">ඔවුන්ගෙන් ගත් මේ කොටස සමිඳාණන් වහන්සේට පුදන විශේෂ පඬුරක් මෙන් පූජක එලෙයාසර්ට දෙන්න.</verse>
				<verse number="30">සෙසු ඉශ්රායෙල් ජනයාට දුන් කොටසින් සිරකරුවන්ගෙන් පණහකට එක්කෙනා බැගිනුත් ගව, කොටළු, එළු, බැටළු ආදී නන්වැදෑරුම් සතුන්ගෙන් පණහකට එකෙකු බැගිනුත් ගෙන සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය භාර ව සිටින ලෙවීවරුන්ට දෙන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="31">උන් වහන්සේ වදාළ පරිදි මෝසෙස් සහ එලෙයාසර් ඉටු කළහ.</verse>
				<verse number="32">යුද්ධ භටයන් තමන්ට ම තබාගත් සතුන් හැරුණු විට කොල්ලකෑ සතුන්ගේ ගණන බැටළුවන් හයලක්ෂ හැත්තෑපන්දහසක් ද</verse>
				<verse number="33">ගවයන් හැත්තෑදෙදහසක් ද</verse>
				<verse number="34">කොටළුවන් හැටඑක්දහසක් ද විය.</verse>
				<verse number="35">තවද, පුරුෂයින් හැඳින ඔවුන් සමඟ සේවනයෙහි නොයෙදුණු ගැහැණු දරුවෝ තිස්දෙදහසක් වූ හ.</verse>
				<verse number="36">සටන් කළ භටයන්ගේ දෙකෙන් කොටස බැටළුවන් තුන් ලක්ෂ තිස්හත්දහස් පන්සියයක් වූ අතර</verse>
				<verse number="37">සමිඳාණන් වහන්සේට දුන් බද්ද බැටළුවෝ හයසිය හැත්තෑපහක් වූ හ.</verse>
				<verse number="38">යුද්ධ භටයන්ගේ කොටස ගවයන් තිස්හයදාහක් වූ අතර සමිඳාණන් වහන්සේගේ බද්ද බැටළුවෝ හැත්තෑදෙනෙක් වූ හ.</verse>
				<verse number="39">යුද්ධ භටයන්ගේ කොටස කොටළුවන් තිස්දහස් පන්සියයක් වූ අතර, සමිඳාණන් වහන්සේගේ බද්ද කොටළුවෝ හැටඑකක් වූ හ.</verse>
				<verse number="40">යුද්ධ භටයන්ගේ කොටස කන්‍යාවන් දහසයදහසක් වූ අතර සමිඳාණන් වහන්සේගේ බද්ද කාන්තාවෝ තිස්දෙදෙනෙක් වූ හ.</verse>
				<verse number="41">තවද මෝසෙස්, සමිඳාණන් වහන්සේ වදාළ පරිදි උන් වහන්සේගේ පූජා පඬුර පූජක එලෙයාසර්ට දුන්නේ ය.</verse>
				<verse number="42">සටන් කළ යුද්ධ භටයන්ගෙන් ඉශ්රායෙල් ජනයා සඳහා මෝසෙස් වෙන් කළ දෙකෙන් කොටස</verse>
				<verse number="43">බැටළුවෝ තුන්ලක්ෂ තිස්හත්දාස් පන්සියයක් ද,</verse>
				<verse number="44">ගවයන් තිස්හයදහසක් ද</verse>
				<verse number="45">කොටළුවන් තිස්දාස් පන්සියයක් ද</verse>
				<verse number="46">කන්‍යාවෝ දහසයදහසක් ද වූ හ.</verse>
				<verse number="47">ඉශ්රායෙල් ජනයාට වූ මේ කොටසින් ද මෝසෙස් සිරකරුවන් පණස්දෙනෙකුට එක්කෙනා බැගින් ද, සතුන් පණස්දෙනෙකුට එකා බැගින් ද ගෙන, සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි උන් වහන්සේගේ මණ්ඩපය භාර ව සිටි ලෙවීවරුන්ට දුන්නේ ය.</verse>
				<verse number="48">හමුදාවේ නිලධාරීහු ද සහශ්‍රාධිපතීහු සහ ශතාධිපතීහු ද මෝසෙස් වෙත පැමිණ</verse>
				<verse number="49">ඔහුට කතා කොට, “ඔබේ සේවකයන් වන අපි අපේ බල ඇණිවල යුද්ධ භටයන් ගණන් කෙළෙමු. එක් කෙනෙක් වත් අඩු නැත.</verse>
				<verse number="50">එබැවින් සමිඳාණන් වහන්සේ අපේ පණ බේරා දුන් බැවින්, අපි සෑම කෙනෙකු ම ගත් ස්වර්ණාභරණ වන පාද මාලා ද වළලු ද මුදු ද කුණ්ඩලාභරණ ද මාල ද උන් වහන්සේට පූජා කරන පිණිස ගෙනාවෙමු”යි කී හ.</verse>
				<verse number="51">එවිට මෝසෙස් සහ පූජක එලෙයාසර් රනින් කළ, ඒ සියලු ආභරණ ගත්හ.</verse>
				<verse number="52">සහශ්‍රාධිපතීන් හා ශතාධිපතීන් සමිඳාණන් වහන්සේට පිදූ මුළු රත්රන් තොගයේ බර කිලෝග්‍රෑම් දෙසියයක් විය.</verse>
				<verse number="53">එහෙත්, යුද්ධ භටයන් කොල්ලකෑ දේ ඔව්හු තමන්ට ම තබාගත්හ.</verse>
				<verse number="54">මෙලෙස මෝසෙස් සහ එලෙයාසර් සහශ්‍රාධිපතීන්ගෙන් සහ ශතාධිපතීන්ගෙන් ගත් රන් රැගෙන ඒවා සම්මුඛ මණ්ඩපය තුළ තැබූ හ. ඒවා ඉශ්රායෙල් ජනයා හට සමිඳාණන් වහන්සේගේ රැකවරණය සිහි ගන්වන සංකේතයක් විය.</verse>
			</chapter>
			<chapter number="32">
				<verse number="1">රූබන්ගේ පෙළපතේ අයට සහ ගාද්ගේ පෙළපතේ අයට ගවයෝ ඉතා විශාල ගණනක් සිටියහ. ජාශර් දේශය සහ ගිලියද් දේශය ගවයන්ට කෙතරම් සුදුසු ද කියා දුටු විට</verse>
				<verse number="2">ඔව්හු මෝසෙස් ද පූජක එලෙයාසර් සහ ජනතාවගේ නායකයන් ද වෙත අවුත්:</verse>
				<verse number="3">“අටාරොත්, දීබොන්, ජාශර්, නිම්රා, හෙෂ්බොන්, එලෙයාලේ, සෙබාම්, නෙබො සහ බියොන් යන නගර පිහිටා ඇති,</verse>
				<verse number="4">ඉශ්රායෙල් ජනතාවට පදිංචි වීම සඳහා සමිඳාණන් වහන්සේ පහර දුන් දේශය ගවයන්ට සුදුසු ය. තවද, ඔබේ දාසයන් වන අපට ගවයෝ සිටිති.</verse>
				<verse number="5">එබැවින් ඔබ අපට අනුග්‍රහය දක්වන්නහු නම්, මේ දේශය ඔබේ දාසයන් වන අපට උරුම කොට දෙනු මැනවි. අප ජොර්දාන් නදියෙන් එතෙරට ගෙන නොයන්නැ”යි කී හ.</verse>
				<verse number="6">එවිට මෝසෙස් ගාද්ගේ පරපුරේ අයට සහ රූබන්ගේ පරපුරේ අයට මෙසේ කී ය: “ඔබ හැමගේ අනෙක් සෙනඟ යුද්ධයට යන අතර ඔබ හැම මෙහි නවතින්නට අරඅඳින්නහු ද?</verse>
				<verse number="7">සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයාට දෙන්නට යන දේශයට ඔවුන් නොයන ලෙස ඔවුන්ගේ සිත් අධෛර්ය කරන්නේ මන් ද?</verse>
				<verse number="8">රට බැලීමට මා ඔබ හැමගේ පියවරුන් කාදෙෂ්-බර්නේයේ සිට යැවූ කල ඔවුන් කෙළේත් එයම යි.</verse>
				<verse number="9">ඔවුන් එෂ්කොල් මිටියාවතට ගොස්, රට දුටු විට, ඉශ්රායෙල් ජනයාට සමිඳාණන් වහන්සේ දුන් දේශයට ඔවුන් නොයන ලෙස ඔව්හු ඔවුන්ගේ සිත් අධෛර්ය කළහ.</verse>
				<verse number="10">එවිට උන් වහන්සේගේ උදහස ඇවිළී,</verse>
				<verse number="11">‘මිසර දේශයෙන් නික්ම පැමිණි අවුරුදු විස්සකට හා ඊට වැඩි වයසැති අය මට සම්පූර්ණයෙන් ම අවනත නො වූ බැවින් ඔවුන්ගෙන් කිසිවෙකු මා ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට පොරොන්දු වූ දේශය නොදකිනු ඇත.</verse>
				<verse number="12">එහෙත්, කෙනෙස්සි ජාතික ජෙපුන්නේගේ පුත් කාලෙබ් සහ නූන්ගේ පුත් ජෝෂුවා මට සම්පූර්ණයෙන් අවනත වූ බැවින් ඔවුන් පමණක් ඒ දේශය දකිනු ඇත’ කියා දිවුළ සේක.</verse>
				<verse number="13">මෙසේ උන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් ජනයාට විරුද්ධ ව ඇවිළී ගියෙන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ මුළු පෙළපත ම නැසී වැනසී යන තෙක්, අවුරුදු හතළිහක් පුරා ම ඔවුන්ට පාළුකරයේ මංමුළා වී යන්නට සැලැසූ සේක.</verse>
				<verse number="14">බලන්න, සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් ජනයා වෙත තවත් වැඩි කරවනු පිණිස පාපිෂ්ඨ නව පරපුරක් වන ඔබ හැම ඔබේ පියවරුන්ගේ හිලව්වට දැන් නැඟිට ඇත.</verse>
				<verse number="15">ඔබ හැම උන් වහන්සේට අවනත නූණොත්, උන් වහන්සේ යළි මේ සෙනඟ සියල්ලන් පාළුකරයේ අත්හැරදමන සේක. ඔබ මොවුන් වනසාලන්නහු ය.”</verse>
				<verse number="16">එවිට ඔව්හු මෝසෙස්ට ළං වී, ඔහුට කතා කොට, “අපි මෙහි අපේ බැටළුවන්ට ගාල් ද අපේ කුඩා අයට නගර ද ඉදි කරන්නෙමු.</verse>
				<verse number="17">එහෙත්, අපි ඉශ්රායෙල් ජනයා ඔවුන්ට හිමි රටට පමුණුවන තෙක්, ඔවුන්ට පෙරටුව සන්නාහ සන්නද්ධ ව ගොස් සටන් කරන්නෙමු. අපගේ කුඩා අය පමණක් දේශවාසීන්ගෙන් ඔවුන්ට උවදුරු නොපැමිණෙන ලෙස පවුරු බැඳි නගරවල වසන්නෝ ය.</verse>
				<verse number="18">ඉශ්රායෙල් ජනයාගෙන් හැම කෙනෙකු ම තමාට හිමි උරුමය ලබාගන්න තෙක් අපි අපේ ගෙවලට හැරී නොඑන්නෙමු.</verse>
				<verse number="19">ජොර්දාන් ගඟින් මෙගොඩ පෙරදිග අපට උරුම වන බැවින්, ගඟින් එගොඩ සහ ඉන් එහා ද කිසිවක් අපි ඔවුන් සමඟ උරුම කොට නොගන්නෙමු”යි කී හ.</verse>
				<verse number="20">එවිට මෝසෙස් ඔවුන්ට කතා කොට, “ඔබ හැම මෙය කරමින්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සටනට සන්නාහ සන්නද්ධ ව,</verse>
				<verse number="21">උන් වහන්සේ සතුරන් පලවා හරින තෙක්, උන් වහන්සේගේ අණ පරිදි, ජොර්දානෙන් එගොඩ වී සටන් කොට,</verse>
				<verse number="22">රට අල්ලා ගන්නහු නම්, ඉන්පසු ඔබ සියල්ලන්ට ආපසු හැරී එන්නට අවසර ඇත. උන් වහන්සේ ඉදිරියෙහි ද, ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි ද ඔබ නිදොස් වනු ඇත. උන් වහන්සේගේ අණ පරිදි මේ රට ද ඔබට උරුම වනු ඇත.</verse>
				<verse number="23">එහෙත්, ඔබ එලෙස නොකරන්නහු නම්, සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ඔබ හැම පව් කරන්නහු ය. ඔබේ පාපය ද ඔබ පිට පැවරෙන බව දැනගන්න.</verse>
				<verse number="24">ඔබේ කුඩා අය සඳහා නගර ද බැටළුවන් සඳහා ගාල් ද ඉදි කරන්න. ඔබ පොරොන්දු වූ පරිදි සියල්ල ඉටු කරන්නැ”යි කී ය.</verse>
				<verse number="25">ගාද්ගේ පරපුරේ අය සහ රූබන්ගේ පරපුරේ අය මෝසෙස්ට කතා කොට, “අපේ හිමිතුමා අණ කරන ලෙස ඔබේ සේවක අපි ඉටු කරන්නෙමු.</verse>
				<verse number="26">අපේ කුඩා අය ද භාර්යාවන් ද එළු බැටළු පට්ටි ද ගවමහිෂ සියල්ලන් ද ගිලියද්හි නගරවල නවතිනු ඇත.</verse>
				<verse number="27">එහෙත්, ඔබ කියන පරිදි ඔබ සේවක අපි හැම කෙනෙක් ම සන්නාහ සන්නද්ධ ව, සමිඳාණන් වහන්සේගේ අණ ලෙස සටනට සූදානම් වන්නෙමු”යි කීවෝ ය.</verse>
				<verse number="28">මෙලෙස මෝසෙස් ඔවුන් පිළිබඳ ව පූජක එලෙයාසර්ට ද නූන්ගේ පුත් ජෝෂුවාට හා ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල නායකයන්ට ද විධාන කෙළේ ය.</verse>
				<verse number="29">ඔහු ඔවුන් අමතමින්, “ගාද්ගේ පරපුරේ අය හා රූබන්ගේ පරපුරේ අය සමිඳාණන් වහන්සේගේ අණ පරිදි සටනට සන්නාහ සන්නද්ධ ව ඔබ සමඟ ජොර්දාන් නදියෙන් එතෙර ව, රට අල්ලාගන්නෝ නම්, ඔබ හැම ඔවුන්ට ගිලියද් දේශය උරුම කොට දිය යුතු ය.</verse>
				<verse number="30">එහෙත්, ඔව්හු ඔබ සමඟ සන්නාහ සන්නද්ධ ව ගඟින් එගොඩ නොවන්නෝ නම්, කානාන් දේශයේ දී ඔබ සමඟ ඔව්හු උරුමය ලබන්නෝ ය”යි කී ය.</verse>
				<verse number="31">එවිට ගාද්ගේ පරපුරේ අය සමඟ රූබන්ගේ පරපුරේ අය පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ ඔබේ සේවකයන් වන අපට දැන්වූ ලෙස අපි ඉටු කරන්නෙමු.</verse>
				<verse number="32">ජොර්දාන් ගඟින් මෙගොඩ උරුමය අපට අයිති වන පිණිස සමිඳාණන් වහන්සේගේ අණ පරිදි අපි සන්නාහ සන්නද්ධ ව කානාන් දේශයට යන්නෙමු”යි කී හ.</verse>
				<verse number="33">මෙලෙස මෝසෙස් ගාද්ගේ පරපුරටත්, රූබන්ගේ පරපුරටත්; ජෝසෙප්ගේ පුත් මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත්, අමෝරිවරුන්ගේ රජ වූ සීහොන්ගේ රාජ්‍යය ද බාෂාන්හි රජ වූ ඕග්ගේ රාජ්‍යය ද යන රටවල් සහ එහි දේශ සීමාවලින් ඇතුළු නගර සහ ඒවායින් පිට නගර ද දුන්නේ ය.</verse>
				<verse number="34">ගාද්ගේ පරපුරේ අය දීබොන්, අටාරොත් සහ අරෝයෙර්,</verse>
				<verse number="35">අත්රොත්-ෂොපාන්, ජාසෙර් සහ ජොග්බෙහා,</verse>
				<verse number="36">බෙත්-නිම්රා සහ බෙත්-හාරන් යන පවුරු සහිත නගර ද, බැටළුවන්ට ගාල් ද ඉදි කළහ.</verse>
				<verse number="37">රූබන්ගේ පරපුරේ අය හෙෂ්බොන්, එලෙයාලේ සහ කිරියතායිම් ද,</verse>
				<verse number="38">නම් වෙනස් කරන ලද නෙබෝ සහ බාල්-මෙයොන් ද, සිබ්මා ද යන නගර ඉදි කළහ. ඔව්හු තමන් ගොඩනැඟුවා වූ නගරවලට අලුත් නාම ද තැබූ හ.</verse>
				<verse number="39">මනස්සේගේ පුත් මාකීර්ගේ පරපුරේ අය ගිලියද් දේශයට ගොස් එය අල්ලාගෙන එහි සිටි අමෝරිවරුන් පන්නාදැමූ හ.</verse>
				<verse number="40">මෝසෙස් එම දේශය මනස්සේගේ පුත් මාකීර්ට දුන් පසු, ඔහු එහි විසී ය.</verse>
				<verse number="41">මනස්සේගේ පුත් ජායීර් ගොස්, එහි තිබූ සමහර නගර අල්ලාගෙන ඒවාට හෙවාත්-ජායිර් කියා නම් තැබී ය.</verse>
				<verse number="42">නොබා ගොස් කෙනත් සහ එහි ගම් අල්ලාගෙන, තමාගේ නමින් ඊට නොබා යයි නම් කෙළේ ය.</verse>
			</chapter>
			<chapter number="33">
				<verse number="1">මෝසෙස්ගේ හා ආරොන්ගේ නායකත්වය යටතේ මිසර දේශයෙන් නික්මුණු ඉශ්රායෙල් ජනයාගේ සහ ඔවුන්ගේ හමුදාවන්ගේ ගමන් විස්තර මේවා ය.</verse>
				<verse number="2">සමිඳාණන් වහන්සේ අණ දුන් පරිදි, මෝසෙස් ඔවුන් පිටත් වූ ස්ථාන අනුව ගමන් විස්තර සටහන් කෙළේ ය. පිටත් වූ ස්ථාන අනුව ඒවායේ විස්තර මෙසේ ය.</verse>
				<verse number="3">ඉශ්රායෙල් ජනතාව පළමු වන මාසයේ පසළොස් වන දින, පාස්කු දිනට පසු දින, මිසර වැසියන් බල බලා සිටිය දී මහා උදාර ලීලාවෙන් රාමෙසෙස් නම් නුවරින් පිටත් වූ හ.</verse>
				<verse number="4">එකල මිසර වාසීහු සමිඳාණන් වහන්සේ මැරූ ඔවුන්ගේ කුලුඳුලන් වළලමින් සිටියහ. මෙලෙස උන් වහන්සේ ඔවුන්ගේ දෙවි දේවතාවන්ට ද දඬුවම් කළ සේක.</verse>
				<verse number="5">ඉශ්රායෙල් ජනයා රාමෙසෙස් නුවරින් නික්ම සුක්කොත්හි ද,</verse>
				<verse number="6">සුක්කොත් නුවරින් නික්ම පාළුකරයේ අද්දර වූ ඒතාම්හි ද,</verse>
				<verse number="7">ඒතාම් නුවරින් නික්ම බාල්-ශෙපොන් ඉදිරිපිට වූ පී-හාහිරොත් බලා හැරී ගොස් මිග්දෝල් ඉදිරිපිට ද,</verse>
				<verse number="8">පී-හාහිරොත් නම් නුවරින් නික්ම, මුහුද මැදින් පාළුකරයට ගොස්, ඒතාම් නම් පාළුකරයේ තුන් දිනක් ගමන් කොට මාරාහි ද කඳවුරු බැන්දහ.</verse>
				<verse number="9">මාරා නම් ස්ථානයෙන් ද නික්ම, ඒලිම්ට පැමිණියහ. මෙහි දිය උල්පත් දොළහක් ද තල්ගස් හැත්තෑවක් ද තිබිණි. එහි ද ඔව්හු කඳවුරු බැඳ</verse>
				<verse number="10">ඉන් නික්ම රතු මුහුදුබඩ ද,</verse>
				<verse number="11">එතැනින් නික්ම සීන් නම් පාළුකරයේ ද,</verse>
				<verse number="12">එතැනින් නික්ම දොප්කාහි ද,</verse>
				<verse number="13">එතැනින් නික්ම අලුෂ්හි ද කඳවුරු බැන්දහ.</verse>
				<verse number="14">එතැනින් නික්ම සෙනඟට බීම සඳහා ජලය නොතිබුණු රෙපිඩිම්හි ද,</verse>
				<verse number="15">එතැනින් නික්ම සීනයි පාළුකරයේ ද කඳවුරු බැන්දහ.</verse>
				<verse number="16">එතැනින් නික්ම කිබ්රොත්-හත්තාවාහි ද,</verse>
				<verse number="17">එතැනින් නික්ම හශේරොත්හි ද,</verse>
				<verse number="18">එතැනින් නික්ම රිත්මාහි ද,</verse>
				<verse number="19">එතැනින් නික්ම රිම්මොන්-පෙරෙශ්හි ද,</verse>
				<verse number="20">එතැනින් නික්ම ලිබ්නාහි ද,</verse>
				<verse number="21">එතැනින් නික්ම රිස්සාහි ද,</verse>
				<verse number="22">එතැනින් නික්ම කෙහේලාතාහි ද,</verse>
				<verse number="23">එතැනින් නික්ම ෂෙපෙර් කන්දෙහි ද,</verse>
				<verse number="24">එතැනින් නික්ම හරාදාහි ද,</verse>
				<verse number="25">එතැනින් නික්ම මක්හෙලොත්හි ද,</verse>
				<verse number="26">එතැනින් නික්ම තාහත්හි ද,</verse>
				<verse number="27">එතැනින් නික්ම තෙරාහි ද,</verse>
				<verse number="28">එතැනින් නික්ම මිත්කාහි ද,</verse>
				<verse number="29">එතැනින් නික්ම හෂ්මොන්හි ද,</verse>
				<verse number="30">එතැනින් නික්ම මොසේරොත්හි ද,</verse>
				<verse number="31">එතැනින් නික්ම බෙනෙ-ජාකාන්හි ද,</verse>
				<verse number="32">එතැනින් නික්ම හෝර්-හග්ගිද්ගාද්හි ද,</verse>
				<verse number="33">එතැනින් නික්ම ජොට්බාතාහි ද,</verse>
				<verse number="34">එතැනින් නික්ම අබ්රොනාහි ද,</verse>
				<verse number="35">එතැනින් නික්ම එශිමෙයාන්-ගෙබෙර්හි ද,</verse>
				<verse number="36">එතැනින් නික්ම ශීන් පාළුකරයෙහි එනම් කාදෙෂ්හි ද,</verse>
				<verse number="37">එතැනින් නික්ම ඒදොම් දේශ සීමාවේ පිහිටි හෝර් කන්දෙහි ද කඳවුරු බැඳගත්හ.</verse>
				<verse number="38">ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් නික්ම ගිය හතළිස් වන අවුරුද්දේ පස් වන මාසයේ පළමු වන දින සමිඳාණන් වහන්සේගේ අණ පරිදි පූජක ආරොන් හෝර් නම් කන්දට නැංග පසු, එහි දී මියගියේ ය.</verse>
				<verse number="39">ඔහු එහි මියයන විට ඔහුගේ වයස අවුරුදු එකසිය විසිතුනකි.</verse>
				<verse number="40">කානාන් දේශයේ දකුණු දිශාවේ විසූ කානානිය අරාද් නම් රජු හට ඉශ්රායෙල් ජනයා සැපත් වන බව සැළ විය.</verse>
				<verse number="41">ඔව්හු හෝර් කන්දෙන් නික්ම සල්මොනාහි ද,</verse>
				<verse number="42">එතැනින් නික්ම පූනොන්හි ද,</verse>
				<verse number="43">එතැනින් නික්ම ඔබොතෙහි ද,</verse>
				<verse number="44">එතැනින් නික්ම මෝවබ් දේශ සීමාවේ පිහිටි ඉයේ-ආබාරිම්හි ද,</verse>
				<verse number="45">එතැනින් නික්ම දීබොන්-ගාද්හි ද,</verse>
				<verse number="46">එතැනින් නික්ම අල්මොන්-දිබ්ලාතයිම්හි ද,</verse>
				<verse number="47">එතැනින් නික්ම නෙබෝ ඉදිරිපිට අබාරිම් කඳු වැටියේ ද,</verse>
				<verse number="48">එතැනින් නික්ම ජොර්දාන් ගං තෙර වූ ජෙරිකෝ නුවර මෝවබ් මිටියාවතේ ද කඳවුරු බැඳගත්හ.</verse>
				<verse number="49">මෙලෙස ඉශ්රායෙල් ජනයා ජොර්දාන් ගං තෙර බෙත්-ජෙෂිමොත් පටන් ආබෙල්-ෂිත්තිම් දක්වා මෝවබ් මිටියාවතෙහි කඳවුරු බැඳගත්හ.</verse>
				<verse number="50">ජොර්දාන් ගං තෙර පිහිටි ජෙරිකෝ නුවර අසල මෝවබ් මිටියාවතේ දී සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="51">“ඉශ්රායෙල් ජනයා අමතා මෙය කියන්න; ‘නුඹලා ජොර්දාන් ගඟෙන් එතෙර වී, කානාන් දේශයට සැපත් වූ විට</verse>
				<verse number="52">නුඹලාට ඉදිරියෙන් එහි සිටින දේශවාසී සියල්ලන් පලවා හැරිය යුතු ය. ඔවුන් ගලින් නෙළූ, ලෝහයෙන් වාත්තු කළ පිළිම නසා වනසා, ගිරිකුළු දේවාල නටබුන් කළ යුතු ය.</verse>
				<verse number="53">නුඹලා දේශය උරුම කොටගෙන එහි පදිංචි විය යුතු ය. මන්ද, ස්වාමීන් වන මා එය නුඹලාට දුන් බැවිනි.</verse>
				<verse number="54">තවද දාදු දමා, දේශය නුඹලාගේ පෙළපත් අතර උරුම කොට බෙදාගත යුතු ය. වැඩියෙන් ඉන්න අයට වැඩියෙන් ද, අඩුවෙන් ඉන්න අයට අඩුවෙන් ද උරුමය දිය යුතු ය. දාදුව අනුව යමෙකුට වැටෙන ස්ථානය ඔහුට උරුම වනු ඇත. නුඹලාගේ පිය පෙළපත්හි ගෝත්‍ර අනුව නුඹලා දේශය උරුම කොට ගත යුතු වේ.</verse>
				<verse number="55">නුඹලා දේශවාසී සියල්ලන් පලවා නොහැරියොත්, එහි ඉතිරි වන අය නුඹලාගේ ඇහැට උලක් ද ඇලයට කටුවක් ද වැනි මහා කරදරයක් වී නුඹලා වසන දේශයේ දී ඔවුන් නුඹලාට හිරිහැර කරනු ඇත.</verse>
				<verse number="56">ඇරත්, නුඹලා මා කී ලෙස නොකරන්නහු නම්, මම ඔවුන්ට දෙන්නට යන දඬුවම් නුඹලාට දෙන්නෙමි.’ “</verse>
			</chapter>
			<chapter number="34">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“ඉශ්රායෙල් ජනයාට අණ දෙමින් මෙය කියන්න: ‘නුඹලාට උරුමයක් වශයෙන් හිමි වන කානාන් දේශයට නුඹලා පැමිණි කල්හි, එහි දේශ සීමාවෝ පහත දක්වන ඒවා ය.</verse>
				<verse number="3">දකුණු පැත්ත ශීන් නම් පාළුකරයේ සිට ඒදොම් දේශ සීමාව ඔස්සේ ය. දකුණු මායිම මළ මුහුදේ දකුණු කොණට නැගෙනහිරින් පටන්ගනු ඇත.</verse>
				<verse number="4">ඒ මායිම අක්‍රබ්බිම්හි දූර්ගය පිහිටි දකුණු දිශාව සහ ශීන් නම් පාළුකරය ඔස්සේ කාදෙෂ්-බර්නේය දක්වා දික් වනු ඇත. එතැන සිට වයඹ දිශාවෙන් පිහිටි හශර්-අද්දාර් සහ අශ්මොන් දක්වා එය වැටෙනු ඇත.</verse>
				<verse number="5">එතැන සිට මිසරයේ ගඟ දක්වා මායිම වැටී මධ්‍යධරණි මුහුදෙන් කෙළවර වනු ඇත.</verse>
				<verse number="6">‘අපරදිග මායිම මධ්‍යධරණි මුහුද වේ.</verse>
				<verse number="7">උතුරු මායිම මධ්‍යධරණි මුහුදේ සිට හෝර් කන්ද දක්වා ද</verse>
				<verse number="8">එතැන් සිට හමාත් දූර්ගය, ශෙදාද් සහ</verse>
				<verse number="9">ශිප්‍රොන් නම් ස්ථානය ඔස්සේ වැටී හශර්-ඒනාන් ළඟින් ද කෙළවර වනු ඇත.</verse>
				<verse number="10">‘පෙරදිග මායිම හශර්-ඒනානෙන් ෂෙපාම් දක්වා ද,</verse>
				<verse number="11">අයින් නම් ස්ථානයට නැගෙනහිරින් දකුණු දිශාවේ පිහිටි හර්බෙල් දක්වා ද, ගලීලය මුහුදේ පෙරදිග වෙරළේ පිහිටි කඳු වැටිය දක්වා ද,</verse>
				<verse number="12">එතැනින් දකුණු දෙසට මළ මුහුදට වැටෙන ජොර්දාන් ගඟ ඔස්සේ ද වැටෙනු ඇත. නුඹලාට හිමි වන දේශයේ මායිම් මේවා වනු ඇත.’ “</verse>
				<verse number="13">තවද මෝසෙස් ඉශ්රායෙල් ජනයාට අණ කරමින් මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ ඔබේ ගෝත්‍ර නවයට හා අර්ධ ගෝත්‍රයට දෙන්නට අණ කළ, දාදු දමා ඔබ උරුම කොට ගත යුතු දේශය මෙය වේ.</verse>
				<verse number="14">පිය පෙළපත් අනුව රූබන්ගේ පරපුරට අයිති අය සහ ගාද්ගේ පරපුරට අයිති අය ඔවුන්ගේ උරුම කොටස ලබාගෙන ඇත. එලෙස ම මනස්සේගේ අර්ධ ගෝත්‍රයට ද ඔවුන්ගේ උරුම ලැබී තිබේ.</verse>
				<verse number="15">ඉහත කී ගෝත්‍ර දෙකට සහ අර්ධ ගෝත්‍රයට හිරු නඟින පෙරදිග පිහිටි ජෙරිකෝව අසල ජොර්දාන් ගඟෙන් මෙගොඩ ඔවුන්ගේ උරුම කොටස ලැබී තිබේ.”</verse>
				<verse number="16">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="17">“නුඹලා අතර දේශය බෙදා දීම ගැන වගකිවයුතු අය නම්, පූජක එලෙයාසර් සහ නූන්ගේ පුත් ජෝෂුවා ය.</verse>
				<verse number="18">තවද, දේශය උරුම කොට බෙදා දීම සඳහා එක එක ගෝත්‍රයට එක එක නායකයෙකු බැගින් තෝරාගත යුතු ය.</verse>
				<verse number="19">මොවුහු නම්, ජුදා ගෝත්‍රයෙන් ජෙපුන්නේගේ පුත් කාලෙබ්;</verse>
				<verse number="20">සිමියොන්ගේ ගෝත්‍රයෙන් අම්මිහුද්ගේ පුත් ෂෙමුවෙල්;</verse>
				<verse number="21">බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් කිස්ලොන්ගේ පුත් එලිදාද්;</verse>
				<verse number="22">දාන්ගේ පරපුරට අයත් ගෝත්‍රයෙන් ජොග්ලිගේ පුත් වූ හා නායකයෙකු වූ බුක්කී;</verse>
				<verse number="23">ජෝසෙප්ගේ පුත්‍රයන් වන මනස්සේගේ පරපුරට අයත් ගෝත්‍රයෙන්, ඒපොද්ගේ පුත් වූ හා නායකයෙකු වූ හන්නීයෙල්;</verse>
				<verse number="24">එප්‍රායිම්ගේ පරපුරට අයත් ගෝත්‍රයෙන්, ෂිප්තාන්ගේ පුත් වූ හා නායකයෙකු වූ කේමුවෙල්;</verse>
				<verse number="25">සාබුලොන්ගේ පරපුරට අයත් ගෝත්‍රයෙන්, පර්නාක්ගේ පුත් වූ හා නායකයෙකු වූ එලිශාපාන්;</verse>
				<verse number="26">ඉස්සාකර්ගේ පරපුරට අයත් ගෝත්‍රයෙන්, අශ්ශාන්ගේ පුත් වූ හා නායකයෙකු වූ පල්තියෙල්;</verse>
				<verse number="27">ආෂෙර්ගේ පරපුරට අයත් ගෝත්‍රයෙන්, ෂෙලොමීගේ පුත් වූ හා නායකයෙකු වූ අහිහුද්;</verse>
				<verse number="28">නප්තලීගේ පරපුරට අයත් ගෝත්‍රයෙන්, අම්මිහුද්ගේ පුත් වූ හා නායකයෙකු වූ පෙදහෙල් යන අය ය.”</verse>
				<verse number="29">කානාන් දේශයේ දී ඉශ්රායෙල් ජනයාට උරුමය බෙදා දීමට සමිඳාණන් වහන්සේ මොවුන්ට අණ කළ සේක.</verse>
			</chapter>
			<chapter number="35">
				<verse number="1">තවද, සමිඳාණන් වහන්සේ ජොර්දාන් ගං තෙර, ජෙරිකෝව අසල මෝවබ් මිටියාවතේ දී මෝසෙස්ට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“ඉශ්රායෙල් ජනයාට උරුම වන කොටසින් ලෙවීවරුන්ට වාසය කිරීම පිණිස නගර දීමට ඔවුන්ට අණ කරන්න. තවද, ඉශ්රායෙල් ජනයා, නගර සිසාරා ඇති තණ බිම් ද ඔවුන්ට දිය යුතු ය.</verse>
				<verse number="3">ඒ නගර ඔවුන්ගේ වාසය පිණිසත්, තණ බිම් ගවමහිෂයන් ඇතුළු මුළු ගොවිසම්පත සඳහාත් විය යුතු ය.</verse>
				<verse number="4">නුඹ ලෙවීවරුන්ට දෙන නගර වටා ඇති තණ බිම්වල ප්‍රමාණය නගර ප්‍රාකාරයේ සිට එය වටේට ම මීටර් හාරසිය පණහක් විය යුතු ය.</verse>
				<verse number="5">නුවර මැදි කොට නුවර වටේට ම පෙරදිගට මීටර් හාරසිය පණහක් ද දකුණු දිගට මීටර් හාරසිය පණහක් ද අපරදිගට මීටර් හාරසිය පණහක් ද උතුරු දිගට මීටර් හාරසිය පණහක් ද මැනිය යුතු ය. මේ නගරවලට යාබද තණ බිම් ඔවුන් සතු වේ.</verse>
				<verse number="6">ලෙවීවරුන්ට දෙන නගර අතර නගර හයක් අභය භූමි නගර වශයෙන් දිය යුතු ය. කෙනෙකු තව කෙනෙකු අදහස් නොකර මැරුවහොත්, එවිට ඔහුට එම නගරයට පලා යත හැක. ඒවාට අමතර ව තව නගර හතළිස්දෙකක් ද දිය යුතු ය.</verse>
				<verse number="7">මෙලෙස තණ බිම් සහිත ව ඔවුන්ට දෙන නගරවල මුළු ගණන හතළිස්අටක් වනු ඇත.</verse>
				<verse number="8">ඉශ්රායෙල් ජනයාගේ උරුම කොටසින් නගර දෙන විට, වැඩියෙන් ඇති අයට වැඩියෙන් ද, අඩුවෙන් ඇති අයට අඩුවෙන් ද දිය යුතු ය. සෑම කෙනෙකු ම තම තමාට උරුම වන කොටසේ ප්‍රමාණය අනුව ලෙවීවරුන්ට නගර දිය යුතු වේ.”</verse>
				<verse number="9">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="10">“ඉශ්රායෙල් ජනයා අමතා මෙය කියන්න: නුඹලා ජොර්දාන් නදියෙන් එතෙරට කානාන් දේශයට පැමිණි විට,</verse>
				<verse number="11">නුඹලාගේ යහපතට, අභය භූමි නගර නියම කළ යුතු ය. එවිට යමෙකු අදහස් නොකර යමෙකු මැරුවහොත්, ඒ මිනීමරුවාට එවැනි නගරයකට පලා යත හැක.</verse>
				<verse number="12">එවිට පළිගන්නාගෙන් මිදී ඒ තැනැත්තාට පිහිට සොයා ඒ නගරවලට යත හැක. ප්‍රසිද්ධ ලෙස විනිශ්චය කරන තුරු මිනීමරුවා ලෙස සැලකෙන තැනැත්තා මරණයට පත් නොකළ යුතු ය.</verse>
				<verse number="13">නුඹලාට දෙන නගරවලින් නගර හයක් අභය භූමි මෙන් සැලකිය යුතු ය.</verse>
				<verse number="14">ජොර්දාන් නදියෙන් මෙගොඩ නගර තුනක් ද, කානාන් දේශයේ නගර තුනක් ද අභය භූමි වශයෙන් තෝරගත යුතු ය.</verse>
				<verse number="15">මේ නගර හය, ඉශ්රායෙල් ජනයා සඳහා ද විදේශිකයන් සඳහා ද තාවකාලික ව පදිංචි වූ අය සඳහා ද අභය භූමි වනු ඇත. එවිට යමෙකු අදහස් නොකර යමෙකු මැරුවහොත්, ඔහුට එහි පලා යත හැකි ය.</verse>
				<verse number="16">‘යමෙකු වැරෙන් යකඩ ආයුධයකින් වෙනත් අයෙකුට පහර දී මළොත් ඔහු මිනීමැරීම ගැන වරදකරුවෙකි. මිනීමරුවා මරණයට පත් කළ යුතු ය.</verse>
				<verse number="17">යමෙකු අනෙකකු මරන අදහසින් ගලකින් පහර දී, ඔහු මළොත් ඒ තැනැත්තා මිනීමැරීම ගැන වරදකරුවෙකි. මිනීමරුවා මරණයට පත් කළ යුතු ය.</verse>
				<verse number="18">යමෙකු අනෙකකු මරන අදහසින් ඔහුට ලී ආයුධයකින් ගසා ඔහු මැරුවොත්, ඔහු මිනීමැරීම ගැන වරදකරුවෙකි. එවැන්නෙකු මරණයට පත් කළ යුතු ය.</verse>
				<verse number="19">ඒ මැරීම ගැන පළිගන්න තැනැත්තා මිනීමරුවා මරණයට පත් කිරීම ගැන වගකිව යුතු ය. මිනීමරුවා සම්මුඛ වූ විට, ඔහු මරාදැමිය යුතු වේ.</verse>
				<verse number="20">‘යමෙකු අනෙකකු මරන අදහසින්, වෛරයෙන් ඔහු තල්ලු කොට හෝ රැක සිට ඔහු වෙත යමක් වීසි කොට හෝ</verse>
				<verse number="21">සතුරුකමින් ඔහුට අතින් බැට දී හෝ ඔහු මළොත් එවැන්නෙකු මිනීමැරීම ගැන වරදකරුවෙකු වන බැවින් ඔහු මරාදැමිය යුතු ය. මරනු ලැබූ තැනැත්තාගේ කිට්ටු ම ඥාතියාට මිනීමරුවා සම්මුඛ වූ විට ඔහු මරාදැමිය යුතු ය.</verse>
				<verse number="22">‘සතුරුකමක් නොමැති ව යමෙකු අනෙකකු හදිසියෙන් තල්ලු කොට හෝ රැක නොසිට යමක් ඔහු වෙත වීසි කරමින් හෝ</verse>
				<verse number="23">ඔහු ඉන්න බව නොදැන ගලක් ගසා හෝ ඔහු මළොත්, එවැනි අවස්ථාවක දී ඔහු සතුරුකම් නොපෙන්වූ බැවින් ද ඔහුට නපුරක් කිරීමට නොසෙවූ බැවින් ද</verse>
				<verse number="24">ජනතාව මිනීමරුවා සහ මරනු ලැබූ තැනැත්තාගේ කිට්ටු ඥාතියා අතර මෙලෙස විනිශ්චය කළ යුතු ය.</verse>
				<verse number="25">ජනතාව ඥාතියාගේ අතින් මිනීමරුවා බේරාගෙන, මොහු පැන ගිය අභය භූමි නගරයට ආපසු යැවිය යුතු ය. මොහු, ශුද්ධ තෙලින් තමා ආලේප කළ නායක පූජකයාගේ මරණය දක්වා එහි වසනු ඇත.</verse>
				<verse number="26">එහෙත්, යම් දිනක මිනීමරුවා තමා පලා ගිය අභය භූමි නගරයේ සීමාවෙන් පිටතට පැමිණි පසු,</verse>
				<verse number="27">එහි දී, මරාදැමූ තැනැත්තාගේ කිට්ටු ඥාතියාට ඔහු සම්බවුණොත් මිනීමරුවා මරාදැමිය හැකි ය. ඥාතියා ඒ මැරීම ගැන වරදකරුවෙකු නොවනු ඇත.</verse>
				<verse number="28">මන්ද, මිනීමරුවා, නායක පූජකයාගේ මරණය දක්වා තම අභය භූමි නගරයෙහි සිටිය යුතු බැවිනි. ඔහුට තමාගේ ගෙදරට යත හැක්කේ නායක පූජකයාගේ මරණයට පසුව පමණකි.</verse>
				<verse number="29">නුඹලා වසන සෑම තැනක ම, සෑම පෙළපතක් කෙරෙහි ම මේ නීති නියෝග වලංගු වනු ඇත.</verse>
				<verse number="30">‘යමෙකු අනෙකකු මැරුවහොත්, මිනීමරුවා සාක්ෂිකරුවන් කීප දෙනෙකුගේ සාක්ෂි පිට මරණයට පත් කරනු ලැබේ. එහෙත්, එලෙස මරණයට පත් කිරීමට පෙර එක සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි පමණක් නොසෑහේ.</verse>
				<verse number="31">මිනීමැරීමක් සම්බන්ධ ව තීන්දු වූ වරදකරුවෙකු මරණයට පත් කළ යුතු ය. එවැන්නෙකුගේ පණ බේරාගැනීමට වන්දියක් නොගත යුතු ය.</verse>
				<verse number="32">අභය භූමි නගරයට පලා ගිය තැනැත්තා වෙනුවෙන් නායක පූජකයාගේ මරණයට කලින් ඔහුගේ රටට ම ආපසු පැමිණීම සඳහා වන්දියක් නොගත යුතු ය.</verse>
				<verse number="33">නුඹලා එලෙස කර, නුඹලා වසන රට නොකෙලෙසිය යුතු ය. ලේ වැගිරීමෙන් රට කෙලෙසෙනු ඇත. මිනීමරුවා මරණයට පත් කිරීමෙන් මිස, ඔහු විසින් වගුරුවන ලද ලෙයින් තෙත් වූ රට පවිත්‍ර කිරීමට අන් මගක් නැත.</verse>
				<verse number="34">එබැවින් නුඹලා වාසය කරන රට නොකෙලෙසන්න. මම ද එහි වාසය කරමි. ඉශ්රායෙල් ජනයා අතර වාසය කරන මම සමිඳාණන් වහන්සේ වෙමි.’ “</verse>
			</chapter>
			<chapter number="36">
				<verse number="1">ජෝසෙප්ගේ පුතුන්ගේ පවුල්වලට අයත් මනස්සේගේ පුත්, මාකීර්ගේ පුත්‍රයා වන ගිලියද්ගේ පරපුරට අයත් පවුල්වල ප්‍රජා මූලිකයෝ මෝසෙස් ද ඉශ්රායෙල් ජනයාගේ ප්‍රජා මූලිකයන් හා නායකයන් ද ඉදිරියට පැමිණ,</verse>
				<verse number="2">“දාදු දමා ඉශ්රායෙල් ජනයාට රට උරුම කොට බෙදා දීමට සමිඳාණන් වහන්සේ අප ස්වාමියා වන ඔබට අණ කළ සේක. තවද අපගේ ඥාති වූ ශෙලෝපෙහාද්ගේ උරුමය ඔහුගේ දූවරුන්ට දෙන ලෙස ද ඔබ සමිඳාණන් වහන්සේ අණ ලැබුවහු ය.</verse>
				<verse number="3">හොඳයි, ඔවුන් ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල පිරිමින්ගෙන් කෙනෙකු හා විවාහ වූවොත්, එවිට අපේ පියවරුන්ගේ උරුමයෙන් කොටසක් ගනු ලැබ, ඔවුන් විවාහ වූ ගෝත්‍රයේ උරුමයට එය එකතු වනු ඇත. මෙලෙස දාදු දැමීමෙන් අප ලත් උරුමය අඩු වනු ඇත.</verse>
				<verse number="4">තවද, ඉශ්රායෙල් ජනයාගේ ජුබිලි වර්ෂයේ දී ඔවුන්ගේ උරුමය ඔවුන් විවාහ වූ අයගේ ගෝත්‍රයේ උරුමයට නිත්‍ය වශයෙන් එකතු වීමෙන් ඔවුන්ගේ පියවරුන්ගේ ගෝත්‍රයට හිමි උරුමය අඩු වී යනු ඇතැ”යි කීවෝ ය.</verse>
				<verse number="5">එවිට සමිඳාණන් වහන්සේ වදාළ පරිදි මෝසෙස් ඉශ්රායෙල් ජනයා අමතා මෙසේ කී ය:</verse>
				<verse number="6">“ශෙලෝපෙහාද්ගේ දූවරුන් ගැන සමිඳාණන් වහන්සේ අණ කරන දේ මේ ය: ‘ඔවුන් තමන්ට කැමැති පරිදි තමන්ගේ ගෝත්‍රය තුළ ම පමණක් විවාහ විය යුතු ය.</verse>
				<verse number="7">එවිට ඉශ්රායෙල් ජනයාගේ උරුමයේ කොටස් ගෝත්‍රයෙන් ගෝත්‍රයට නොයනු ඇත. මන්ද, මෙසේ කිරීමෙන් ඉශ්රායෙල් ජනයා අතර සෑම කෙනෙකු ම තම තමාගේ පිය පෙළපත් ගෝත්‍රයේ උරුමයට ම බැඳී සිටිනු ඇත.</verse>
				<verse number="8">‘තවද, ඉශ්රායෙල් ජනයා අතර උරුමයක් හිමි සෑම දුවක ම තම පිය පෙළපත් ගෝත්‍රයේ කෙනෙකු සමඟ විවාහ විය යුතු ය. එවිට ඉශ්රායෙල් ජනයා අතර සෑම කෙනෙකු ම තම පිය පෙළපත් උරුමය භුක්ති විඳිනු ඇත.</verse>
				<verse number="9">උරුම කොටස් ගෝත්‍රයෙන් ගෝත්‍රයට නොගොස් ඉශ්රායෙල් ජනයා අතර සෑම කෙනෙකු ම තම තමාගේ පිය පෙළපත් ගෝත්‍රයේ උරුමයට ම බැඳී සිටිනු ඇත.’ “</verse>
				<verse number="10">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ශෙලෝපෙහාද්ගේ දූවරු ද ඉටු කළහ.</verse>
				<verse number="11">ඒ දූවරු වන මාලා, තිර්ශා, හොග්ලා, මිල්කා සහ නෝවා තම පියාගේ සොහොයුරන්ගේ පුත්‍රයන් සමඟ විවාහ වූ හ.</verse>
				<verse number="12">මොවුන් ජෝසෙප්ගේ පුත් මනස්සේගේ පරපුරට අයත් පවුල්වල අය සමඟ විවාහ වූ නිසා, ඔවුන්ගේ උරුම කොටස තම පිය පෙළපත් ගෝත්‍රය තුළ ම පැවතුණි.</verse>
				<verse number="13">ජොර්දාන් ගං තෙර, ජෙරිකෝ නුවර අසල මෝවබ් මිටියාවතේ දී සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් ඉශ්රායෙල් ජනයාට දුන් ආඥා සහ විනිශ්චයෝ මේවා ය.</verse>
			</chapter>
		</book>
		<book number="5">
			<chapter number="1">
				<verse number="1">ජොර්දාන් ගඟින් මෙගොඩ පාළුකරයේ දී මෝසෙස් සියලු ඉශ්රායෙල් ජනයා අමතා කී වචන මේ ය. මොවුන් සිටියේ සූප් නම් ස්ථානය ඉදිරිපිට, පාරාන් ද තොපෙල් ද ලාබාආන් ද හශේරොත් සහ දී-සාහාබ් ද යන නගරවලට මැදි වූ මිටියාවතෙහි ය.</verse>
				<verse number="2">හොරෙබ් සිට කාදෙෂ්-බර්නේයට සේයිර් කඳුකර මාර්ගය ඔස්සේ ගමන් කිරීමට එකොළොස් දවසක් ගත වේ.</verse>
				<verse number="3">සෙනඟට දැන්වීමට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල, ඔහු හතළිස් වන අවුරුද්දේ එකොළොස් වන මාසයේ පළමු වන දින ඉශ්රායෙල් ජනයාට කීවේ ය.</verse>
				<verse number="4">මෙය වූයේ ඔහු හෙශ්බොන්හි වාසය කළ අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් ද එද්රෙය අසල අෂ්තාරොත්හි විසූ බාෂාන්හි රජ වූ ඕග් ද පරාජය කළ පසු ය.</verse>
				<verse number="5">ජොර්දාන් ගඟෙන් මෙගොඩ මෝවබ් දේශයේ දී මෝසෙස් දේව ආඥා පහදා දීම මෙසේ ඇරඹී ය.</verse>
				<verse number="6">“අපේ දෙවි සමිඳාණන් වහන්සේ හොරෙබ් කන්දේ දී අපට මෙසේ කතා කළ සේක: ‘නුඹලා මේ කන්ද මත මෙතෙක් කල් විසුවා ඇත.</verse>
				<verse number="7">කඳවුර ගලවා, ගමන අරඹා අමෝරිවරුන්ගේ කඳුකරයට ද ඊට යාබද ව අසල්වැසියන් වසන මිටියාවතට සහ කඳුකරයට ද තැනිතලාවට සහ දකුණු දිශාවට ද මුහුදුබඩට හා කානානිවරුන්ගේ දේශයට ද ලෙබනොන් රටට සහ මහා ගංගාව වන යුප්‍රටීස් ගංගාව දක්වා ද යන්න.</verse>
				<verse number="8">බලන්න, මේ දේශය නුඹලා ඉදිරියෙහි ඇත. සමිඳාණන් වහන්සේ නුඹලාගේ ආදි පියවරුන් වූ ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට ද ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ පෙළපතට ද දෙන්නට පොරොන්දු වී දිවුළ දේශයට ඇතුළු වී එය හිමි කරගන්න.’ “</verse>
				<verse number="9">“එකල මම ඔබට කතා කොට, ‘ඔබ පිළිබඳ වගකීම මට තනි ව දැරිය නොහැකි ය.</verse>
				<verse number="10">ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ හැම වැඩි වර්ධනය කළ සේක. පුදුමයකි! අද දින ඔබ හැම ගණනින් අහසේ තරු හා සමාන ය.</verse>
				<verse number="11">ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ හැම තවත් දහස් ගුණයකින් වැඩි වෙන්නට සලසා, උන් වහන්සේ පොරොන්දු වූ ලෙස ඔබට ආශීර්වාද කරන සේක.</verse>
				<verse number="12">ඔබ හැම පිළිබඳ වගකීම, කරදර හිරිහැර, වාද විවාද මා තනි ව කෙසේ දරන්නට ද?</verse>
				<verse number="13">එබැවින් නැණවත්, කාරණා කාරණා දන්න, අත්දැකීම් ඇති අය ඔබගේ ගෝත්‍රවලින් තෝරාගන්න; ඔබ පාලනය කරන පිණිස මම ඔවුන් පත් කරන්නෙමි’යි කීවෙමි.</verse>
				<verse number="14">ඔබ හැම ද මට පිළිතුරු දෙමින්, ‘ඔබ කී දේ අපට වැඩදායක යැ’යි පැවසූ හ.</verse>
				<verse number="15">එවිට මම ඔබේ ගෝත්‍ර නායකයන් අතර නැණවත්, කාරණා කාරණා දන්න අයවලුන් ඔබ හැමගේ ප්‍රධානීන් වශයෙන් පත් කෙළෙමි; සමහරෙක් සහශ්‍රාධිපතීහු ද සමහරෙක් ශතාධිපතීහු ද සමහරෙක් පණසාධිපතීහු ද තවත් සමහරෙක් දශාධිපතීහු ද වූ හ. තවද, ගෝත්‍රයක් පාසා නිලධාරීන් ද පත් කෙළෙමි.</verse>
				<verse number="16">“මම එකල ඔබේ විනිසකරුවන් අමතමින්, ‘ඔබේ සෙනඟ අතර නඩු අසන ලෙස ද යමෙකු සහ ඔහුගේ අසල්වැසියා අතරත්, ඔහු සමඟ වසන විදේශිකයා අතරත් යුක්තිය අනුව තීන්දුව දෙන්නට ද</verse>
				<verse number="17">විනිශ්චය කරද්දී, මිනිසුන්ගේ තරාතිරම් නොබලා, ලොකු කුඩා අයට එක සේ කන් දී, තීන්දුව දෙවියන් වහන්සේගෙන් එන බැවින් මිනිසුන්ට බිය නොවිය යුතු යයි ද දුෂ්කර නඩුවක් ඇත්නම් මා එය අසන පිණිස මා වෙත එය ගෙනෙන්නට ඕනෑ බව ද කීවෙමි.</verse>
				<verse number="18">මම ඔබ කළ යුතු සියල්ල ගැන ඔබට උපදෙස් දුනිමි.’ “</verse>
				<verse number="19">“සමිඳාණන් වහන්සේ අපට වදාළ ලෙස අපි ඉටු කෙළෙමු. අපි හොරෙබ් කන්දෙන් නික්ම අමෝරිවරුන්ගේ කඳුකරයට යන මඟ ඔබ දුටු මහා, රුදුරු පාළුකරය ඔස්සේ ගොස් කාදෙෂ්-බර්නේය නම් ස්ථානයට පැමිණියෙමු.</verse>
				<verse number="20">මම ද ඔබ අමතා, ‘අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට දෙන්නට යන අමෝරිවරුන්ගේ කඳුකරයට ඔබ ආවහු ය.</verse>
				<verse number="21">මෙන්න, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන්නට යන දේශය ඔබ ඉදිරිපිට ඇත. ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට කී පරිදි බිය නොවී, අධෛර්ය නොවී ගොස් එය උරුම කරගන්නැ’යි ද කීවෙමි.</verse>
				<verse number="22">“එවිට ඔබ සියල්ලෝ ම මා සමීපයට විත්, ‘අප කුමන මඟකින් යා යුතු ද අප පැමිණිය යුත්තේ කුමන නගරවලට ද කියා වාර්තා කිරීමට, රට පිළිබඳ ඔත්තු සොයා බලාගනු පිණිස අපට කලින් මිනිසුන් යැවිය යුතු ය’යි කීවහු ය.</verse>
				<verse number="23">මම ද ඊට මුළු හිතින් එකඟ වූයෙමි. එක එක ගෝත්‍රයෙන් එක්කෙනා බැගින් මිනිසුන් දොළොස්දෙනෙකු තෝරාගතිමි.</verse>
				<verse number="24">ඔව්හු ද හැරී කඳුකරයට නැඟී, එෂ්කොල් මිටියාවත දක්වා ගොස් එහි ඔත්තු බැලූ හ.</verse>
				<verse number="25">ඒ රටේ පලතුරුවලින් ද සමහරක් අප වෙත ගෙනවුත්, අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට දෙන්නට යන දේශය සාරවත් රටක් බව ද අපට සැළ කළ හ.</verse>
				<verse number="26">“එහෙත් ඔබ, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණට විරුද්ධ ව කැරලි ගසමින් එහි යාමට කැමැත්ත නොදැක්වූ හ.</verse>
				<verse number="27">ඔබ ද කූඩාරම්වලට වී කොඳුරමින්, ‘සමිඳාණන් වහන්සේ අපට ද්වේෂ කරන බැවින්, අමෝරිවරුන්ගේ බලයට අප පාවා දී අප මරනු පිණිස මිසර දේශයෙන් අප පිටතට ගෙනා සේක.</verse>
				<verse number="28">අප එහි යා යුත්තේ මන් ද? එහි ගිය අය, ඒ සෙනඟ අපට වඩා උස මහත සෙනඟක් බව ද, ඔවුන්ගේ විශාල නගරවල ප්‍රාකාර අහස දක්වා විහිදෙන බව ද, එහි දී අනාක්වරුන්ගේ පුතුන් වන යෝධයන් දුටු බව ද කියමින් අපේ සිත් අධෛර්යයට පත් කළ හ’යි කීවහු ය.</verse>
				<verse number="29">“මම එවිට ඔබ අමතමින්, ‘තැති නොගන්න, ඔවුන්ට බිය නොවන්න;</verse>
				<verse number="30">ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ ඉදිරියෙහි යන සේක. මිසරයේ දී ඔබ ඇස් ඉදිරියෙහි උන් වහන්සේ ඔබ වෙනුවෙන් ඉෂ්ට කළ සියල්ල අනුව, උන් වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක.</verse>
				<verse number="31">තවද, පියෙකු තම පුතුන් උසුලාගෙන යන්නාක් මෙන්, මේ ස්ථානය දක්වා එන මුළු මාර්ගය ඔස්සේ ම ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ පාළුකරයේ දී ඔබ උසුලාගෙන පැමිණි අයුරු ඔබ දුටුවහු ය’යි කීවෙමි.</verse>
				<verse number="32">එහෙත් මා කී දේ ගණන් නොගෙන, ඔබ, දෙවි සමිඳාණන් වහන්සේ විශ්වාස නොකළහු ය.</verse>
				<verse number="33">කඳවුරු බැඳීම සඳහා ස්ථානයක් ඔබට සොයනු පිණිස ඔබ ගිය මඟ උන් වහන්සේ ඔබට පෙරටුවෙන් ගමන් කළ සේක. මෙලෙස උන් වහන්සේ ඔබ යා යුතු මඟපෙන්වීම සඳහා රාත්‍රි කාලයේ දී ගින්නක් මෙන් ද, දිවා කාලයේ දී වලාකුළක් මෙන් ද ගමන් කළ සේක.”</verse>
				<verse number="34">“සමිඳාණන් වහන්සේ ඔබේ මැසිවිලි අසා, උදහස් වී දිවුරමින්,</verse>
				<verse number="35">‘මා ඔවුන්ගේ පියවරුන්ට දෙන්නට දිවුරා පොරොන්දු වූ ඒ සාරවත් රටට මේ දුෂ්ට පෙළපතට අයිති කිසි ම කෙනෙක් ඇතුළු නොවන්නෝ ය.</verse>
				<verse number="36">එහෙත්, ජෙපුන්නේගේ පුත් කාලෙබ් පමණක් ඊට ඇතුළු වන්නේ ය; ස්වාමීන් වන මට ඔහු සම්පූර්ණයෙන් අවනත වූ බැවින් ඒ රටේ පස් පෑගූ ඔහුටත්, ඔහුගේ දරුවන්ටත් මම එය දෙන්නෙමි’යි වදාළ සේක.</verse>
				<verse number="37">ඔබ හැම නිසා සමිඳාණන් වහන්සේ මා සමඟ ද කිපී, ‘ඔබත් එහි ඇතුළු නොවන්නෙහි ය;</verse>
				<verse number="38">එහෙත් ඔබ සමඟ සිටින නූන්ගේ පුත් ජෝෂුවා එහි ඇතුළුවන්නේ ය; ඔහු දිරි ගන්වන්න; ඉශ්රායෙල්වරුන්ට එම දේශය උරුම කරගන්නට ඔහු සලසනු ඇතැ’යි වදාළ සේක.</verse>
				<verse number="39">“තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, ‘මොවුන් සතුරන්ට ගොදුරු වනු ඇතැ යි ඔබ සිතූ සිඟිති දරුවන් ද, එකල හොඳ නරක නොදත් ඔබේ දරුදැරියන් ද එහි ඇතුළු වනු ඇත. මා ඒ දේශය ඔවුන්ට දුන් පසු එය ඔව්හු අයිති කරගන්නෝ ය.</verse>
				<verse number="40">එහෙත්, ඔබ හැම නැවත හැරී, රතු මුහුදට යන පාර වැටී ඇති පාළුකරයට ගමන් කරන්නැ’යි වදාළ සේක.”</verse>
				<verse number="41">“ඔබ පිළිතුරු දෙමින්, ‘ඔව්, අපි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමු. අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට අණ කළ පරිදි අපි ගොස් සටන් කරන්නෙමු’යි කීවහු ය. ඉන්පසු ඔබ සියල්ලෝ යුද්ධායුධ ගෙන සන්නාහ සන්නද්ධ වූ පසු කඳුකරයට යෑමට පහසු ය කියා සිතුවහු ය.</verse>
				<verse number="42">“එවිට සමිඳාණන් වහන්සේ මට කතා කොට, ‘ඔවුන්ට නොයන්නටත්, සටන් නොකරන්නටත් කියන්න. මන්ද, මා ඔබ සමඟ වැඩ නොසිටින බැවින් ඔබේ සතුරන් ඔබ පරාජය කරනු ඇතැ’යි වදාළ සේක.</verse>
				<verse number="43">මම ද ඔබට එය සැළ කෙළෙමි. එහෙත්, ඔබ ඊට කන් නොදී සමිඳාණන් වහන්සේගේ අණට විරුද්ධ ව කැරලි ගසමින් හිතුවක්කාරකමින් කඳුකරයට ගමන් කළහු ය.</verse>
				<verse number="44">එවිට කඳුකරයේ විසූ අමෝරිවරු මීමැසි රැළක් සේ ඔබට විරුද්ධ ව පැමිණ, ඔබ ලුහුබැඳ ගොස් සේයිර් දේශයේ හොර්මා නම් ස්ථානයේ දී ඔබ පරාජය කළෝ ය.</verse>
				<verse number="45">ඉන්පසු ඔබ ආපසු හැරී අවුත් සමිඳාණන් වහන්සේ අබිමුව හැඬු නමුත්, උන් වහන්සේ ඔබේ ඉල්ලීම නොසලකා, ඔබට සවන් නුදුන් සේක.</verse>
				<verse number="46">මෙලෙස ඔබ සිතූ හැටියට ම බොහෝ කාලයක් කාදෙෂ්හි වාසය කළහු ය.”</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">“ඉන්පසු සමිඳාණන් වහන්සේ මට කී පරිදි, අපි හැරී රතු මුහුදට යන පාර වැටී ඇති පාළුකරය ඔස්සේ ගමන් කෙළෙමු. සේයිර් කඳුකරයෙහි අප බොහෝ කලක් සංචාරය කළ පසු</verse>
				<verse number="2">සමිඳාණන් වහන්සේ මට කතා කොට,</verse>
				<verse number="3">‘නුඹලා බොහෝ කලක් මේ කඳුකරයෙහි සංචාරය කළහු ය. දැන් උතුරු දිශාවට හැරෙන්න.</verse>
				<verse number="4">නුඹ ද සෙනඟට අණ කරමින් මෙසේ කියන්න: ඔබේ ඥාතීන් වූ ඒසව්ගේ පෙළපත පදිංචි වී සිටින සේයිර් නම් දේශය ඔස්සේ ඔබ යා යුතු ය. ඔවුන් ඔබට බිය වනු ඇත. එබැවින් ප්‍රවේසම් වන්න.</verse>
				<verse number="5">ඔවුන් කුපිත නොකරන්න. ඔවුන්ගේ දේශයෙන් අඟලක්වත් මම ඔබට නොදෙන්නෙමි. මන්ද, සේයිර් කඳුකරය මා ඒසව් සන්තක කොට දුන් බැවිනි.</verse>
				<verse number="6">ඔබට කෑම පිණිස මුදල් ගෙවා ආහාර ද බීම පිණිස මුදල් ගෙවා වතුර ද ඔවුන්ගෙන් ගත හැකි ය’යි වදාළ සේක.</verse>
				<verse number="7">ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ කළ සියල්ලෙහි දී ඔබට ආශීර්වාද කළ සේක. මේ මහා පාළුකරය මැදින් ඔබ ගිය ගමන උන් වහන්සේ දන්නා සේක. මේ අවුරුදු හතළිහ ම උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටිය බැවින් ඔබට කිසි ම අග හිඟයක් නො වී ය.</verse>
				<verse number="8">“අපි ද අපගේ ඥාතීන් වූ ඒසව්ගේ පෙළපත පදිංචි සේයිර් කඳුකරය පසු කොට, ඒලත් සහ එශියොන්-ගෙබෙර් නම් ස්ථානවලින් මිටියාවත ඔස්සේ ගොස්, යළි හැරී මෝවබ්හි පාළුකරය මැදින් ගියෙමු.</verse>
				<verse number="9">“සමිඳාණන් වහන්සේ මා අමතා, ‘මෝවබ්වරුන්ට හිරිහැර නොකරන්න, සටනට ඔවුන් නොපොළඹවන්න. මා ආර් නම් දේශය ලොත්ගේ පෙළපතට සතු කොට දෙන බැවින්, ඔවුන්ගේ රටින් කිසිවක් මම නුඹට අයිති කොට නොදෙන්නෙමි’යි වදාළ සේක.</verse>
				<verse number="10">“අනාක්වරුන් හා සමාන, බලසම්පන්න, ගණනින් බොහෝ වූ, උස මහත සෙනඟක් වන ඒමිවරු පෙර කාලයේ දී එහි විසූ හ.</verse>
				<verse number="11">අනාක්වරුන් මෙන් ඔව්හු ද රෙපායිම් යෝධයෝ යයි හඳුන්වනු ලැබූ හ. එහෙත් මෝවබ්වරුන් ඔවුන්ට කීවේ ඒමිවරු කියා ය.</verse>
				<verse number="12">සේයිර්හි පෙර කල හෝරිවරු පදිංචි වූ හ. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ට අයිති කොට දුන් දේශයට, ඉශ්රායෙල්වරුන් කළ පරිදි, ඒසව්ගේ පෙළපත ද හෝරිවරුන් පන්නා දමා, ඔවුන් වනසා, එහි පදිංචි වූ හ.</verse>
				<verse number="13">“උන් වහන්සේ තවදුරටත් කතා කරමින්, ‘දැන් නැඟිට, ශෙරෙද් නම් නදියෙන් එතෙර වන්නැ’යි වදාළ සේක. අපි ද එම නදියෙන් එගොඩ වූයෙමු.</verse>
				<verse number="14">කාදෙෂ්-බර්නේය නම් ස්ථානයෙන් නික්මුණු දා සිට ශෙරෙද් නම් නදියෙන් එගොඩ වන තෙක් ගත වූ කාලය අවුරුදු තිස්අටකි. සමිඳාණන් වහන්සේ දිවුළ පරිදි ඒ කාලය තුළ ඒ පෙළපතට අයත් මුළු භට හමුදාව නැසී ගියේ ය.</verse>
				<verse number="15">ඔවුන් නැත්තට ම නැති වන තෙක් හමුදාවෙන් ඔවුන් වනසාලීම පිණිස සමිඳාණන් වහන්සේ ඔවුන්ට විරුද්ධ ව නැඟී සිටිය සේක.</verse>
				<verse number="16">“මෙලෙස සෙනඟ අතරෙන් මුළු භට හමුදාවේ සියල්ලන් නැති නාස්ති වී වැනසී ගිය පසු,</verse>
				<verse number="17">සමිඳාණන් වහන්සේ මට කතා කොට,</verse>
				<verse number="18">‘අද නුඹ ආර් නම් පෙදෙස ඔස්සේ මෝවබ් දේශය මැදින් යා යුතු ය.</verse>
				<verse number="19">නුඹ අම්මොන්ගේ පරපුරට අයිති අයගේ දේශය සමීපයට පැමිණි කල ඔවුන්ට හිරිහැර නොකරන්න, ඔවුන් කුපිත නොකරන්න. මා ඔවුන්ගේ රට ලොත්ගේ පෙළපතට අයිති කොට දී තිබෙන බැවින් මම ඔවුන්ගේ රටින් අඟලක්වත් නුඹට නොදෙන්නෙමි’යි වදාළ සේක.</verse>
				<verse number="20">“එය ද රෙපායිම්වරුන්ගේ රට මෙන් ගණන් ගැණිනි. පෙර කාලවල දී රෙපායිම් යෝධයෝ එහි විසූ හ. අම්මොන්වරු ඔවුන්ට සම්සුම්මිවරු යයි නම් කළහ.</verse>
				<verse number="21">අනාක්වරුන් මෙන් ඔව්හු ද බලසම්පන්න, ගණනින් බොහෝ වූ, උස මහත සෙනඟක් වූ හ. එහෙත්, සමිඳාණන් වහන්සේ ඔවුන් වනසා ලූ නිසා, අම්මොන්වරු එම රට අල්ලාගෙන එහි පදිංචි වූ හ.</verse>
				<verse number="22">සමිඳාණන් වහන්සේ හෝරිවරුන් වනසා, සේයිර්හි පදිංචි වූ ඒසව්ගේ පෙළපතට කළ පරිදි, මොවුන්ටත් කළ සේක. ඔවුන් රට අල්ලාගත් බැවින් අද දක්වා එහි පදිංචි වී ඇත.</verse>
				<verse number="23">ක්‍රීට් දූපතේ සිට පැමිණි වාසීහු ද, දකුණු දිග පිහිටි ගාසා දක්වා විසූ අව්විවරුන් වනසා, එම රටේ පදිංචි වූ හ.</verse>
				<verse number="24">“සමිඳාණන් වහන්සේ තවදුරටත් කතා කරමින්, ‘නැඟිට, ගමන අරඹා, අර්ණොන් නදියෙන් එතෙර වන්න. මෙන්න, හෙෂ්බොන්හි රජ වූ අමෝරි ජාතික සීහොන් ද ඔහුගේ රට ද මම නුඹේ බලයට දුනිමි. එය සතු කරගනු පිණිස සටන් අරඹා පහර දෙන්න.</verse>
				<verse number="25">මම අද දින මුළු පොළෝ තලයෙහි සිටින සියලු ජාතීන් තුළ නුඹ නිසා තැති ගැන්ම සහ භීතිය ඇති කරමි. නුඹ ගැන ඇසූ විට, ඔව්හු බියෙන් ඇළලී කැළඹෙන්නෝ ය’යි වදාළ සේක.”</verse>
				<verse number="26">“මම ද කෙදෙමොත් පාළුකරයේ සිට හෙෂ්බොන්හි රජ වූ සීහොන් වෙත සාමකාමී වචන සහිත ව පණිවුඩකාරයන් යවමින්,</verse>
				<verse number="27">‘ඔබේ දේශය මැදින් මට යන්නට අවසර දුන මැනව. මම මහ මාවත ඔස්සේ යමින් දකුණට හෝ වමට හෝ නොහැරෙන්නෙමි.</verse>
				<verse number="28">කන්නට ආහාර ද බොන්නට වතුර ද මුදලට දුන මැනව. මම දේශය මැදින් පයින් ම යමින්,</verse>
				<verse number="29">අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට දෙන්නට යන රටට, ජොර්දාන් ගඟෙන් එතෙර වන්නෙමි. සේයිර්හි පදිංචි ඒසව්ගේ පෙළපත ද ආර්හි පදිංචි මෝවබ්වරු ද අපට එසේ යන්නට අවසර දුන්නෝ ය’යි කීවෙමි.</verse>
				<verse number="30">“එහෙත් හෙෂ්බොන්හි රජ වූ සීහොන් අපට දේශය මැදින් යන්නට අවසර නුදුන්නේ ය. එසේ නුදුන්නේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු ඔබේ බලයට පාවා දෙනු පිණිස, උන් වහන්සේ ඔහුගේ සිත දැඩි ලෙස මුරණ්ඩු කළ නිසා විය හැක.</verse>
				<verse number="31">“එවිට සමිඳාණන් වහන්සේ මා අමතා ‘මෙන්න, සීහොන් රජු සහ ඔහුගේ දේශය මම නුඹට දෙන්නට පටන්ගතිමි. එම දේශය අල්ලාගෙන, උරුම කරගන්නැ’යි වදාළ සේක.</verse>
				<verse number="32">සීහොන් ද ඔහුගේ මුළු සෙනඟ ද අපට විරුද්ධ ව සටන් අරඹා යහශ් නම් ස්ථානයට පැමිණියෝ ය.</verse>
				<verse number="33">දෙවි සමිඳාණන් වහන්සේ ඔහු අපට පාවා දුන් සේක. අපි ද ඔහුටත්, ඔහුගේ දරුවන්ටත්, සියලු සෙනඟටත් පහර දුන්නෙමු.</verse>
				<verse number="34">ඒ දවස්හි අපි ඔහුගේ සියලු නගර අල්ලාගෙන, ඒවා සියල්ලෙහි ම විසූ ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂය ද සිඟිති දරුවන් ද සම්පූර්ණයෙන් ම වනසා දැම්මෙමු. ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඉතුරු නොකෙළෙමු.</verse>
				<verse number="35">අපගේ ම ප්‍රයෝජනයට අපි ගවමහිෂයන් පැහැරගෙන, අල්ලාගත් නගරවලින් වස්තුව කොල්ලකෑවෙමු.</verse>
				<verse number="36">අර්ණොන් ගං තෙර පිහිටි අරෝයෙර් පටන් ගිලියද් දක්වා ගඟ අද්දර වූ නගරය ඇතුළු සියලු ම නුවරවල් අල්ලාගැනීමට අපේ දෙවි සමිඳාණන් වහන්සේ සැලැසූ සේක. අපට අල්ලාගන්නට නොහැකි තරම් උස් වූ එක ම නගරයක් වත් නො වී ය.</verse>
				<verse number="37">එහෙත්, අම්මොන්ගේ පෙළපත පදිංචි දේශයට වත්, ජබ්බොක් ගඟ අසබඩ කිසි ම ස්ථානයකට වත්, කඳුකරයේ කිසි ම නුවරකට වත්, අපේ දෙවි සමිඳාණන් වහන්සේ තහනම් කළ කිසි ම තැනකට වත් අපි නොගියෙමු.”</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">“ඉන්පසු අපි එතැනින් හැරී බාෂාන් දක්වා වැටී තිබූ මාර්ගය ඔස්සේ ගියෙමු. එවිට බාෂාන්හි රජ වූ ඕග් ද ඔහුගේ මුළු සෙනඟ ද එද්රෙයි නම් ස්ථානයේ දී අප සමඟ සටනට පැමිණියහ.</verse>
				<verse number="2">සමිඳාණන් වහන්සේ මා අමතා, ‘ඔහුට බිය නොවන්න. ඔහුත්, ඔහුගේ මුළු සෙනඟත්, රටත් නුඹේ බලයට මම පාවා දෙන්නෙමි. හෙෂ්බොන්හි පදිංචි වූ අමෝරිවරුන්ගේ රජු වන සීහොන්ට නුඹ කළ පරිදි, මොහුටත් කළ යුතු ය’යි වදාළ සේක.</verse>
				<verse number="3">“මෙලෙස අපේ දෙවි සමිඳාණන් වහන්සේ බාෂාන්හි රජ වූ ඕග් ද ඔහුගේ සියලු සෙනඟ ද අපේ බලයට පාවා දුන් සේක. අපි ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඉතුරු නොවන තුරු ඔවුන්ට පහර දුනිමු.</verse>
				<verse number="4">තවද, එකල අපි ඔවුන්ගේ නගරවලින් එකක් වත් නෑර, නගර සියල්ල ම අල්ලා ගතිමු. එනම්, නගර හැටක් සහිත බාෂාන්හි රජකම් කළ ඕග් රජුගේ රාජධානිය වූ, මුළු අර්ගොබ් පළාත ම අල්ලා ගතිමු.</verse>
				<verse number="5">මේ නගර සියල්ල ම අගුල් දැමූ වාසල් දොරටු සහිත උස් වූ ප්‍රාකාරවලින් සුරක්ෂිත වී තිබිණි. තවද, ප්‍රාකාරවලින් වට නොවූ නගර ගණනාවක් ද අල්ලා ගතිමු.</verse>
				<verse number="6">හෙෂ්බොන්හි රජු වූ සීහොන්ට කළ ලෙස අපි මේ නගර සෑම එකක ම විසූ ස්ත්‍රී පුරුෂයන් ද සිඟිති දරුවන් ද නැත්තට ම වනසා දැමීමු.</verse>
				<verse number="7">එහෙත්, ගවමහිෂයන් සියල්ලන් හා නගරවලින් කොල්ලකෑ සම්පත අපේ ම ප්‍රයෝජනයට තබාගත්තෙමු.</verse>
				<verse number="8">“තවද, අපි එකල අර්ණොන් ගංගාවේ සිට හෙර්මොන් කන්ද දක්වා ජොර්දාන් ගඟින් මෙගොඩ දේශය අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනාගෙන් පැහැර ගත්තෙමු.</verse>
				<verse number="9">හෙර්මොන් කන්දට සීදොන්වරු සිරියොන් කියා ද අමෝරිවරු සෙනීර් කියා ද කියති.</verse>
				<verse number="10">අපි බාෂාන්හි රජ වූ ඕග්ගේ රාජධානියට අයත් මිටියාවතේ වූ සියලු නගර ද, සලෙකා සහ එද්රෙයි යන නගර දක්වා මුළු ගිලියද් ප්‍රදේශය හා බාෂාන් ප්‍රදේශය ද අල්ලා ගතිමු.</verse>
				<verse number="11">“ඉතුරු වූ රෙපායිම් යෝධයන්ගෙන් එතෙක් පණපිටින් සිටියේ බාෂාන්හි රජු වූ ඕග් පමණකි. ඔහුගේ මිනිය තැබූ ඇඳ යකඩවලින් සෑදූ එකකි. අම්මොන්වරුන්ගේ පෙළපතට අයත් නගරයක් වූ රබ්බාහි එය අද දක්වා ඇත. සම්මත මිනුම අනුව එහි දිග මීටර් හතරකි, පළල මීටර් දෙකකි.”</verse>
				<verse number="12">“අපි දේශය අයිති කරගත් විට, අර්ණොන් නදී ගං තෙර වූ අරෝයෙර් සිට විහිදී ගිය කොටස ද ගිලියද් කඳුකරයේ බාගයක් ද එහි නගර ද රූබන්ගේ සහ ගාද්ගේ පෙළපත්වල අයට දුනිමු.</verse>
				<verse number="13">ගිලියද් දේශයෙන් ඉතිරි කොටස ද ඕග් රජුගේ රාජධානිය වන මුළු බාෂාන් ප්‍රදේශය, එනම්, මුළු අර්ගොබ් ප්‍රදේශය, මම මනස්සේගේ අර්ධ ගෝත්‍රයට දුනිමි. මුළු බාෂාන් ප්‍රදේශය රෙපායිම් යෝධයන්ගේ දේශය යයි කියනු ලැබේ.</verse>
				<verse number="14">මනස්සේගේ පුත් ජයිර් නමැත්තා, ගෙෂුර්වරුන්ගේ ද මාකාත්වරුන්ගේ ද සීමා දක්වා සම්පූර්ණ අර්ගොබ් පළාත, එනම්, බාෂාන් පළාත අල්ලාගෙන, ඊට තමාගේ ම නම දෙමින් හව්වොත්-ජායිර් කියා නම් තැබී ය. අද දක්වා ඒ නම පවතී.</verse>
				<verse number="15">“ගිලියද් දේශය මම මාකීර්ට දුනිමි.</verse>
				<verse number="16">රූබන්ගේ සහ ගාද්ගේ පෙළපත්වලට මම ගිලියද් සිට අර්ණොන් නදිය දක්වා වූ ප්‍රදේශය දුනිමි. ගංගාවේ මැද එක සීමාවක් විය. අම්මොන්වරුන්ගේ පෙළපතට අයත් දේශ සීමාව අසලින් ගලා ගිය ජබ්බොක් ගඟ එක සීමාවක් විය.</verse>
				<verse number="17">කින්නෙරෙත් නම් ස්ථානයේ සිට පෙරදිගින් වූ පිස්ගා නම් කඳු පාමුල පිහිටි මළ මුහුදේ වෙරළ අසබඩ වූ මිටියාවත සහ ජොර්දාන් ගඟ තවත් සීමාවක් විය.</verse>
				<verse number="18">“මම එකල ඔබට කතා කොට, ‘ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අයිති කරගැන්මට මෙරට දුන් සේක. එබැවින් සටනට යන භටයන් සන්නාහ සන්නද්ධ වී, සෙසු ඉශ්රායෙල් ජනයාට පෙරටුවෙන් යා යුතු ය.</verse>
				<verse number="19">එහෙත්, ඔබේ භාර්යාවන් ද සිඟිති දරුවන් ද මා දන්නා පරිදි ඔබ සතු බහුල ව සිටින ගවමහිෂයන් ද මා ඔබට දුන් නගරවල නැවතී සිටිය යුතු ය.</verse>
				<verse number="20">සමිඳාණන් වහන්සේ ඔබට මෙන් ම, ඔබේ සෙසු ජනතාවට ද විවේකය දෙන තෙක්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ජොර්දානෙන් එතෙර ඔබට දුන් දේශය ඔබ භටයන් අයිති කරගන්නා තෙක් ඔබ එලෙස නැවතී සිටිය යුතු ය. ඉන්පසු මා ඔබට දුන් දේශයට සියල්ලන් ම හැරී ආ යුතු ය’යි කීවෙමි.</verse>
				<verse number="21">“එකල මම ජෝෂුවාට කතා කොට, ‘ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අන් රජුන් දෙදෙනාට කළ දේ දෑසින් ම ඔබ දුටුවෙහි ය. ඔබ ආක්‍රමණය කරන සියලු රාජධානිවලට උන් වහන්සේ එලෙස කරන සේක.</verse>
				<verse number="22">ඔබ ඔවුන්ට බිය නොවිය යුතු ය. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේකැ’යි කීවෙමි.”</verse>
				<verse number="23">“එවිට මම සමිඳාණන් වහන්සේට බැගෑපත් ව යාච්ඤා කරමින්,</verse>
				<verse number="24">‘මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබේ ශ්‍රේෂ්ඨත්වය ද බාහු බලය ද ඔබේ සේවකයා හට පෙන්වීමට ඔබ පටන්ගෙන තිබේ. ඔබ සේ දස්කම් හා විස්කම් අනුව ක්‍රියා පෑමට සමත් අන් කවර දෙවි කෙනෙක් සගලොව හෝ නරලොව හෝ සිටිත් ද?</verse>
				<verse number="25">එබැවින් ජොර්දාන් ගඟින් එගොඩ වී, එතෙර ඇති සරුසාර රට ද දැකුම්කලු කඳුකරය ද ලෙබනොන් දේශය ද දැකගැනීමට මට කරුණාකර අවසර දෙනු මැනව’යි ඉල්ලීමි.</verse>
				<verse number="26">“එහෙත්, සමිඳාණන් වහන්සේ ඔබ නිසා මා සමඟ කිපී, මා කී දේට සවන් නුදුන් සේක. උන් වහන්සේ මට කතා කොට, ‘දැන් නුඹ කතා කළා ඇති, මේ කරුණ මින්පසු මට සඳහන් නොකරන්න.</verse>
				<verse number="27">පිස්ගා කඳු ශිඛරයට නැඟ, පෙර අපර දෙදිග ද උතුර හා දකුණ ද හිස ඔසවා බලා මැනවින් නරඹන්න. ජොර්දාන් ගඟින් ඔබ එතෙර නොවනු ඇත.</verse>
				<verse number="28">ජෝෂුවාට වගකීම පවරා ඔහු ධෛර්යවත් කර ශක්ති සම්පන්න කරන්න. ඔහු මේ සෙනඟට පෙරටුවෙන් ගොස්, ඔබ දකින දේශය ඔවුන්ට උරුම කරගැනීමට සලසනු ඇතැ’යි වදාළ සේක.</verse>
				<verse number="29">“එවිට අපි බෙත්-පෙයොර් නම් නගරය ඉදිරිපිට වූ මිටියාවතෙහි පදිංචි වී සිටියෙමු.”</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">මෝසෙස් ඉශ්රායෙල්වරුන්ට කතා කොට මෙසේ කී ය: “ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන්නට යන දේශයට ඇතුළු වී, එය අයිති කරගෙන, එහි ජීවත් වන පිණිස, ඔබ විසින් ඉටු කළ යුතු, මා ඔබට උගන්වන නීති හා නියෝගයන්ට, ඉශ්රායෙල්වරුනි, දැන් ඉතින් සවන් දෙන්න.</verse>
				<verse number="2">මා ඔබට අණ කළ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ නීති හා නියෝගවලට අමතර වචනයක් එකතු නොකර, ඒවායින් කිසිවක් අඩු නොකර, ඔබ ඒවා පිළිපැදිය යුතු ය.</verse>
				<verse number="3">බාල්-පෙයොර්හි සිද්ධියට අදාළ ව සමිඳාණන් වහන්සේ කළ දේ ඔබේ දෑසින් ම ඔබ දුටුවහු ය. පෙයොර්හී දී බාල් නම් දෙවියා අනුගාමී වූ සියල්ලන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ අතරෙන් වනසා ලූ සේක.</verse>
				<verse number="4">එහෙත්, ඔබගේ දෙවි සමිඳාණන් වහන්සේට පක්ෂපාත ව සිටි ඔබ සියල්ලෝ අද පණපිටින් සිටින්නහු ය.</verse>
				<verse number="5">“මාගේ දෙවි සමිඳාණන් වහන්සේ මට අණ කළ පරිදි මම ඔබ හට නීති හා නියෝග ඉගැන්වීමි. ඔබ අයිති කරගන්නට යන රටට ඔබ ගිය පසු ඒවා පිළිපැදිය යුතු ය.</verse>
				<verse number="6">ඒවා ආරක්ෂා කරමින් පිළිපදින්න. මෙසේ කිරීමෙන් සෙසු ජාතීන් ඉදිරියෙහි ඔබේ පැණවත්කමත්, නැණවත්කමත් කැපී පෙනෙනු ඇත. මේ නීති සියල්ල ගැන ඔවුන්ට සැළ වන විට, ‘මේ ශ්‍රේෂ්ඨ ජාතියට අයිති සෙනඟ කෙතරම් පැණවත් ද නැණවත් ද’ කියා ඔවුන් විස්මපත් වනු ඇත.</verse>
				<verse number="7">“අපේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් අප අයැදින සියල්ලෙහි දී, උන් වහන්සේ අපට ළං ව සිටින්නාක් මෙන් වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියකට දෙවි කෙනෙක් ළං ව සිටින්නේ ද?</verse>
				<verse number="8">මා අද දින ඔබ ඉදිරියෙහි තැබූ මේ සියලු නීති මෙන් සාධාරණ නීති හා නියෝග වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියක් සතු ව පවතී ද?</verse>
				<verse number="9">පරෙස්සම් වන්න! ඔබේ ඇසින් ඔබ දුටු දේවල් අමතක නොවන පිණිසත්, දිවි ඇති තාක් ඒවා ඔබේ සිතින් පහ වී නොයන පිණිසත්, ඒවා මැනවින් සලකා බලන්න. ඒවා ඔබේ දරුවන්ටත්, දරුවන්ගේ දරුවන්ටත් කියා දෙන්න.</verse>
				<verse number="10">එසේ ඉගැන්විය යුතු කරුණු නම් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අබිමුව හොරෙබ් කඳු මුදුනේ ඔබ සිටි දින ගැන ය. එදින උන් වහන්සේ මට කතා කොට, ‘සෙනඟ රැස් කරන්න. මාගේ වචන මම ඔවුන් හට ඇසෙන්නට සලස්වමි. එවිට ඔවුන් මිහි පිට දිවි ඇති තාක් මට ගරුබිය දැක්වීමට ඉගෙන ගනු ඇත. එසේ කිරීමට ඔවුන්ගේ දරුවන්ට ද උගන්වනු ඇතැ’යි වදාළ සේක.</verse>
				<verse number="11">“ඔබ කඳු පාමුලට විත් සිටගත්තහු ය. කන්ද ගිනිගෙන ඇවිලෙමින්, ඒ ගින්න අහස් කුසට බුර බුරා නැංගේ ය. අඳුරු වලා පටල නිසා කන්ද ඝනාන්ධකාරයෙන් වැසිණි.</verse>
				<verse number="12">සමිඳාණන් වහන්සේ ගින්න මැද වැඩ සිට ඔබට කතා කළ සේක. ඔබ කටහඬක් ඇසූ නමුත් රූපයක් නුදුටුවහු ය. ඔබට ඇසුණේ කටහඬ පමණ ය.</verse>
				<verse number="13">ඔබට පිළිපැදීමට උන් වහන්සේ නියම කළ උන් වහන්සේගේ ගිවිසුම වන දස පණත ඔබ හට ප්‍රකාශ කළ සේක; ගල් පුවරු දෙකක ඒවා ලියා දුන් සේක.</verse>
				<verse number="14">තවද, ඔබ අයිති කරගැනීමට යන දේශයේ දී ඔබ පිළිපැදිය යුතු නීති හා නියෝග මා ඔබට උගන්වන පිණිස සමිඳාණන් වහන්සේ මට අණ කළ සේක.”</verse>
				<verse number="15">“එබැවින් ඔබ හැම සුපරීක්ෂාකාරී ව සිටිය යුතු ය. සමිඳාණන් වහන්සේ ගිනි මැද සිට හොරෙබ් කන්ද මුදුනේ දී ඔබ හැම ඇමතූ විට ඔබ කිසි රූපාකාරයක් නුදුටුවහු ය.</verse>
				<verse number="16">එබැවින් ඔබ පවට නොවැටෙන පිණිස කිසි ම නෙළූ පිළිමයක් වත්, ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ සමාන කිසි ම රූපයක් වත්,</verse>
				<verse number="17">මිහි පිට සිටින සතෙකුට හෝ අහස් කුස පියාඹන පක්ෂියෙකුට හෝ සමාන රූපයක් වත්,</verse>
				<verse number="18">පොළොවේ බඩගා යන උරගයෙකුට හෝ ජලයෙහි හැසිරෙන මත්ස්‍යයෙකුට හෝ සමාන රූපයක් වත් නොසෑදිය යුතු ය.</verse>
				<verse number="19">ඔබ අහස දෙස හිස ඔසවා, එහි ඇති ඉර, හඳ, තාරකා සහ සියලු ආකාශ වස්තු දකින විට ඒවාට වන්දනා නමස්කාර කිරීමට ඇදී නොයන්න. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඒවා දී ඇත්තේ මිහි පිට සෙසු සියලු ජාතීන් සඳහා ය.</verse>
				<verse number="20">එහෙත්, ඔබ ගැන කිව යුතු දේ නම්, යකඩ ගිනි උදුනක් වැනි මිසරයෙන් සමිඳාණන් වහන්සේ ඔබ පිටතට ගෙනාවේ, ඔබ හැම අද දින සිටින්නාක් මෙන් උන් වහන්සේගේ ම උරුමය වූ සෙනඟක් වනු පිණිස ය.</verse>
				<verse number="21">“තවද, උන් වහන්සේ ඔබ නිසා මා සමඟ කිපී ජොර්දාන් ගඟෙන් මට එතෙර වීමටත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන්නට යන සරුසාර දේශයට මට ඇතුළු වීමටත් ඉඩ නොදෙන බවට දිවුළ සේක.</verse>
				<verse number="22">මට ජොර්දාන් ගඟෙන් එතෙර වන්නට ඉඩ නොලැබෙන්නේ ය, මෙරට මැරෙන්නට මට සිදු වේ. එහෙත්, ඔබ නම් ගඟෙන් එතෙර වී ඒ සරුසාර රට අයිති කරගන්නහු ය.</verse>
				<verse number="23">ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ කරගත් ගිවිසුම අමතක නොකරන ලෙසටත්, උන් වහන්සේ ඔබට තහනම් කළ නෙළූ පිළිමයක් හෝ වෙන කිසිවකට සමාන රූපයක් හෝ නොසාදන ලෙසටත් ප්‍රවේසම් වන්න.</verse>
				<verse number="24">මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ගින්නකි, ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකි.</verse>
				<verse number="25">“ඔබ දරුවන් ද දරුවන්ගේ දරුවන් ද ලබා, බොහෝ කාලයක් එම රටෙහි විසූ පසු, නෙළූ පිළිම හෝ යම්කිසි රූපයක් හෝ සාදා පවට වැටෙමින් ඔබ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නපුර කොට උන් වහන්සේ කුපිත කළහොත්</verse>
				<verse number="26">මම එදින ඔබට විරුද්ධ ව සාක්ෂියක් වශයෙන් අහසත්, පොළොවත් කැඳවා ඔබ අයිති කරගන්නට යන ජොර්දාන් ගඟෙන් එතෙර රටින් ඔබ හැම සහමුලින් ම වනසාලන හැටියට දිවුරා කියමි. එම රටෙහි ඔබ වැඩි කල් ජීවත් නොවනු ඇත. ඔබ සහමුලින් ම වැනසෙනු ඇත.</verse>
				<verse number="27">සමිඳාණන් වහන්සේ සෙසු ජාතීන් අතරෙහි ඔබ හැම විසුරුවා දමන සේක. උන් වහන්සේ ඔබ ගෙන යන විජාතීන් අතරෙහි ඔබ ගණනින් ඉතා ස්වල්ප දෙනෙකු වශයෙන් ඉතිරි වන්නාහු ය.</verse>
				<verse number="28">එහි දී ඔබ හැම ලීයෙන් සහ ගලින් නෙළූ මිනිස් අත්කම්වල ප්‍රතිඵල වන, කිසිත් නොදකින, නොවළඳන, ගඳ සුවඳ නොදැනෙන, දෙවි දේවතාවන්ට වැඳුම්පිදුම් කරන්නහු ය.</verse>
				<verse number="29">එහෙත්, එහි දී ඔබේ මුළු හෘදයෙන් ද මුළු සිතින් ද ඔබ දෙවි සමිඳාණන් වහන්සේ සොයා ගියොත් උන් වහන්සේ ඔබට සම්බ වනු ඇත.</verse>
				<verse number="30">දුක් කරදර ඔබට පැමිණෙන විට, අවසානයේ දී වත් ඔබ, දෙවි සමිඳාණන් වහන්සේ වෙත හැරී, උන් වහන්සේගේ හඬට අවනත වන්නහු නම්,</verse>
				<verse number="31">උන් වහන්සේ දයාවන්ත දෙවි කෙනෙකු බැවින්, ඔබ අත් නොහරින සේක; ඔබ නොවනසන සේක; උන් වහන්සේ ඔබේ පියවරුන් හට දිවුරා පොරොන්දු වූ ගිවිසුම අමතක නොකරන සේක.</verse>
				<verse number="32">“තවද, දෙවියන් වහන්සේ මිහි පිට මිනිසා මැවූ දා සිට මේ දක්වා ගෙවීගිය දීර්ඝ කාලය තුළ වේවා, අහසේ එක් කොණක සිට අනික් කොණ දක්වා වේවා, මෙයාකාර මහා දෙයක් සිදු වූ බවක් හෝ එවැන්නක් ගැන ඇසූ බවක් හෝ දැනගන්නට තිබේ ද?</verse>
				<verse number="33">ගින්න මැද සිට කතා කළ දෙවියන් වහන්සේට ඔබ සවන් දුන්නාක් මෙන් කිසියම් සෙනඟක් උන් වහන්සේගේ හඬට සවන් දී ජීවත් ව සිටිත් ද?</verse>
				<verse number="34">ඔබ බලා සිටිය දී ම මිසරයේ දී ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට කළ සියල්ල අනුව වෙන කිසියම් දෙවි කෙනෙක්, අභියෝග දක්වා, හාස්කම් සහ අරුමපුදුම දේ පා, යුද්ධයෙන් ද, බාහු බලයෙන් හා දිගු කළ හස්තයෙන් ද මහා බියජනක දේ කර, එක් ජාතියක් තවත් ජාතියක් මධ්‍යයෙන් තෝරාගන්නට වැඩිය සේක් ද?</verse>
				<verse number="35">මේ දේ පමණක් පෙන්වන ලද්දේ සමිඳාණන් වහන්සේ ම දෙවියන් වහන්සේ බවත්, උන් වහන්සේ හැර අන් දෙවි කෙනෙකු නැති බවත් ඔබ දැනගන්නා පිණිස ය.</verse>
				<verse number="36">උන් වහන්සේ ඔබට උපදෙස් දෙනු සඳහා සිය හඬ ස්වර්ගයෙන් ඇසෙන්නට සැලැසූ සේක; මිහි පිට තම මහා ගින්න ඔබට දැක්වූ සේක. ගින්න මැද සිට උන් වහන්සේගේ කට හඬ ඔබට ඇසිණි.</verse>
				<verse number="37">ඔබේ පියවරුන්ට උන් වහන්සේ ප්‍රේම කළ නිසා, ඔවුන්ගෙන් පැවත ආ පෙළපත තෝරාගෙන මහා බලය පා මිසර දේශයෙන් උන් වහන්සේ ම ඔවුන් ගෙනා සේක.</verse>
				<verse number="38">අද ඔබට අයිති වී තිබෙන හැටියට ඔබ ගෙනැවිත් ඔබට උරුම කොට, ඒ රට දෙන පිණිස ඔබට වඩා ගණනින් විශාල බලවත් ජාතීන්, ඔබට පෙරටුවෙන් පන්නාදැමූ සේක.</verse>
				<verse number="39">එබැවින් සමිඳාණන් වහන්සේ ඉහළ ස්වර්ගයෙහිත්, පහළ මිහි පිටත් වැඩ වසන දෙවියන් වහන්සේ බවත්, උන් වහන්සේ හැර අන් දෙවි කෙනෙකු නැති බවත් මෙදින වටහාගෙන තරයේ සිතින් මෙනෙහි කරන්න.</verse>
				<verse number="40">ඔබට ද ඔබෙන් පසු ඔබේ පෙළපතට ද ශුභසිද්ධිය සැලසෙනු පිණිසත්, දෙවි සමිඳාණන් වහන්සේ ඔබ හට සදහට ම දානය කරන දේශයෙහි ඔබ දිගායු වළඳන පිණිසත් මා ඔබට අද දින අණ කරන උන් වහන්සේගේ නීති සහ නියෝග ඔබ පිළිපැදිය යුතු ය.”</verse>
				<verse number="41">ඉන්පසු මෝසෙස් ජොර්දාන් ගඟෙන් මෙගොඩ, නැගෙනහිර දිශාවට නගර තුනක් වෙන් කෙළේ ය.</verse>
				<verse number="42">යමෙකු, කලින් වෛරයක් නොදැක්වූ කෙනෙකු අදහස් නොකර මැරුවොත්, එවිට මේ මිනීමරුවා හට මෙකී නගරවලින් එකකට පලා ගොස් ජීවත් විය හැකි ය.</verse>
				<verse number="43">මෙලෙස රූබන්ගේ ගෝත්‍රය සඳහා පාළුකරයෙහි තැනිතලා භූමියෙහි පිහිටි බෙශෙර් නගරය ද ගාද්ගේ ගෝත්‍රය සඳහා ගිලියද් දේශයේ රාමොත් නගරය ද මනස්සේගේ ගෝත්‍රය සඳහා බාෂාන් ප්‍රදේශයේ ගෝලාන් නගරය ද ඇති විය.</verse>
				<verse number="44">මෝසෙස් ඉශ්රායෙල් ජනයාට දුන් නීතිය මෙය වේ.</verse>
				<verse number="45">ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් නික්ම ආ පසු මෝසෙස් දුන් ශික්ෂා පද ද, නීති හා නියෝග ද, අණපණත් ද මේවා ය.</verse>
				<verse number="46">මෝසෙස් සහ ඉශ්රායෙල් ජනයා එකල සිටියේ ඔවුන් හශේබොන්හි පදිංචි ව සිටි අමෝරිවරුන්ගේ රජු වන සීහොන්ගේ දේශයේ, බෙත්-පෙයොර් නම් ස්ථානය ඉදිරිපිට වූ මිටියාවතෙහි, ජොර්දාන් ගඟෙන් මෙගොඩ ය.</verse>
				<verse number="47">ඔව්හු බාෂාන්හි රජු වූ ඕග්ගේ දේශය ද අයිති කරගත්හ. මේ දෙදෙනා ජොර්දාන් ගඟෙන් මෙගොඩ නැගෙනහිර දෙස පදිංචි වූ අමෝරිවරුන්ගේ රජවරු ය.</verse>
				<verse number="48">ඔවුන් අයිති කරගත් දේශය අර්ණොන් ගං තෙර පිහිටි අරෝයෙර් සිට හෙර්මොන් හෙවත් සිරියොන් කන්ද දක්වා විහිදිණි.</verse>
				<verse number="49">තවද, එම දේශයට ජොර්දාන් ගඟින් නැගෙනහිර මෙගොඩ පිහිටි තැනිතලාවේ සිට මළ මුහුද දක්වා ද, පිස්ගා කන්ද පාමුල දක්වා ද ප්‍රදේශය අයිති විය.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">මෝසෙස් මුළු ඉශ්රායෙල් ජනයා කැඳවා ඔවුන්ට මෙසේ කී ය: “ඉශ්රායෙල්වරුනි, මෙදින මා ඔබට කියන්නට යන නීති හා නියෝගවලට සවන් දෙන්න. ඔබ ඒවා ඉගෙනගෙන, ආරක්ෂා කරමින් පිළිපැදිය යුතු ය.</verse>
				<verse number="2">අපේ දෙවි සමිඳාණන් වහන්සේ හොරෙබ් කන්දේ දී අප සමඟ ගිවිසුමක් කළ සේක.</verse>
				<verse number="3">උන් වහන්සේ මේ ගිවිසුම කෙළේ, අපේ පියවරුන් සමඟ නොව අද දින ජීවත් ව සිටින අප සියල්ලන් ද සමඟ ය.</verse>
				<verse number="4">සමිඳාණන් වහන්සේ ගින්න මැද සිට කන්දේ දී මුහුණට මුහුණ ලා ඔබ සමඟ කතා කළ සේක.</verse>
				<verse number="5">උන් වහන්සේ වදාළ දේ ඔබට දැන්වීමට මම එකල සමිඳාණන් වහන්සේටත්, ඔබටත් අතර සිටියෙමි. ගින්න නිසා බිය වූයෙන් ඔබ කන්දට නොනැංගහු ය. “උන් වහන්සේ මෙසේ වදාළ සේක:</verse>
				<verse number="6">‘මම වනාහි, වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ වෙමි.</verse>
				<verse number="7">‘මා හැර අන් කිසි ම දෙවි කෙනෙකු නුඹට නොවිය යුතු ය.</verse>
				<verse number="8">‘නුඹ සඳහා නෙළූ රූපයක් හෝ ඉහළ අහසෙහි වත්, පහළ පොළොවෙහි වත්, පොළොවෙන් යට ජලයෙහි වත් ඇති කිසි ම වස්තුවකට සමාන දෙයක් හෝ නුඹ සාදා නොගන්න.</verse>
				<verse number="9">නුඹ ඒවාට නමස්කාර නොකරන්න; වැඳුම්පිදුම් නොකරන්න. මන්ද, නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මම ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකුන් වන බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන් වන, සතර වන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි.</verse>
				<verse number="10">එහෙත්, මට ප්‍රේම කරමින්, මාගේ ආඥා පිළිපදින දහස් ගණන් අයට මම කරුණාව දක්වමි.</verse>
				<verse number="11">‘නුඹේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය අගරු ලෙස භාවිත නොකරන්න. යමෙක් ඒ නාමය අගරු ලෙස භාවිත කරන්නේ ද ඔහුට උන් වහන්සේ දඬුවම් කරන සේක.</verse>
				<verse number="12">‘දෙවි සමිඳාණන් වහන්සේ නුඹට අණ කළ පරිදි සබත් දවස ශුද්ධ ලෙස පැවැත්විය යුතු ය.</verse>
				<verse number="13">‘දවස් හයක් තුළ නුඹ වෙහෙස වී නුඹේ සියලු වැඩ කරන්න.</verse>
				<verse number="14">එහෙත්, හත් වන දවස නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ සබත ය. එදින නුඹ වත්, නුඹේ පුතා වත්, දුව වත්, නුඹේ සේවකයා වත්, සේවිකාව වත්, නුඹේ ගවයා වත්, කොටළුවා වත්, ගවමහිෂයන් වත්, නුඹේ වාසල් දොරටු සීමා තුළ සිටින ආගන්තුකයා වත් කිසි වැඩක් නොකළ යුතු ය. එවිට නුඹට මෙන් ම නුඹේ සේවක සේවිකාවන්ට ද නිවාඩු ගත හැකි ය.</verse>
				<verse number="15">නුඹ මිසර දේශයේ දී වහලෙකු මෙන් සිටි බවත්, දෙවි සමිඳාණන් වහන්සේ සිය බාහු බලයෙන් හා දිගු කළ හස්තයෙන් නුඹ පිටතට ගෙනා බවත් සිහි කළ යුතු ය. සබත් දවස ශුද්ධ ලෙස පැවැත්වීමට දෙවි සමිඳාණන් වහන්සේ අණ කෙළේ එබැවින් ය.</verse>
				<verse number="16">‘දෙවි සමිඳාණන් වහන්සේ නුඹට අණ කළ පරිදි නුඹේ පියාට ද මවට ද ගෞරව කරන්න. එවිට දෙවි සමිඳාණන් වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹ චිරාත් කාලයක් ජීවත් වන්නෙහි ය; නුඹට සෙත සැලසෙනු ඇත.</verse>
				<verse number="17">‘මිනී නොමරන්න.</verse>
				<verse number="18">‘කාමමිථ්‍යාචාරය නොකරන්න.</verse>
				<verse number="19">‘සොරකම් නොකරන්න.</verse>
				<verse number="20">‘නුඹේ අසල්වැසියාට විරුද්ධ ව බොරු සාක්ෂි නොකියන්න.</verse>
				<verse number="21">‘නුඹේ අසල්වැසියාගේ භාර්යාවට ඇලුම් නොකරන්න. නුඹේ අසල්වැසියාගේ ගෘහයට හෝ ඔහුගේ කෙතට හෝ ඔහුගේ සේවක සේවිකාවන්ට හෝ ඔහුගේ ගවයාට හෝ කොටළුවාට හෝ අසල්වැසියා සතු කිසිවකට හෝ තණ්හා නොකරන්න.’</verse>
				<verse number="22">“කන්දේ දී ගින්න ද වලා පටලය ද ඝනාන්ධකාරය ද මැද වැඩ සිට මුළු ජනතාව අමතා, මහා හඬකින් සමිඳාණන් වහන්සේ වදාළ වචන මේවා ය. ඒවාට අමතර ව කිසිවක් එකතු නොකොට, ගල් පුවරු දෙකක උන් වහන්සේ ඒවා ලියා මට භාර දුන් සේක.”</verse>
				<verse number="23">“කන්ද ගින්නෙන් දැවෙමින් තිබිය දී, අඳුර මැදින් ඔබට කටහඬ ඇසුණු විට, ඔබේ ගෝත්‍රවල ප්‍රධානීන් සියල්ලෝ ද ප්‍රජා මූලිකයෝ ද මා සමීපයට පැමිණ,</verse>
				<verse number="24">‘පුදුමයකි! අපේ දෙවි සමිඳාණන් වහන්සේ සිය තේජශ්‍රීය සහ ශ්‍රේෂ්ඨත්වය අපට පෙන්වා වදාළ සේක. ගින්න මැදින් අපි උන් වහන්සේගේ කටහඬට සවන් දුනිමු. දෙවියන් වහන්සේ මිනිසා සමඟ කතා කළ පසු පවා ඔහුට ජීවත් විය හැකි බව අද අපි දුටිමු.</verse>
				<verse number="25">එහෙත්, අප යළි මරණයට මුහුණ දිය යුත්තේ මන් ද? මේ මහා ගින්න අප දවාලන්නට පුළුවන. අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට අප තවදුරටත් සවන් දුන්නොත් අපට මරණය නියත ය.</verse>
				<verse number="26">ගින්න මැදින් කතා කළ ජීවමාන දෙවියන් වහන්සේගේ කඩහඬට අප සවන් දුන්නාක් මෙන් සවන් දී, ජීවත් ව සිටින මිනිසෙක් තවත් සිටී ද?</verse>
				<verse number="27">එබැවින් ඔබ ළං වී අප දෙවි සමිඳාණන් වහන්සේ වදාරන සියල්ලට සවන් දෙන්න. ඉන්පසු උන් වහන්සේ ඔබට වදාළ සියල්ල අපට දන්වන්න, අපි ඒවා අසා, ඉටු කරන්නෙමු’යි කී හ.</verse>
				<verse number="28">“ඔබ මට කතා කළ විට, ඔබේ කටහඬ සමිඳාණන් වහන්සේට ඇසිණි. එවිට උන් වහන්සේ මා අමතා මට මෙසේ වදාළ සේක: ‘මේ සෙනඟ ඔබට කී දේ මට ඇසිණි. ඔවුන් කී සියල්ල හොඳින් කියා ඇත,</verse>
				<verse number="29">මට ගරුබිය දැක්වීමටත්, ඔවුන්ටත්, ඔවුන්ගේ පෙළපත්වලටත් සදහට ම ශුභසිද්ධිය සලසන පිණිස මාගේ අණපණත් නිරතුරුව පිළිපැදීමටත් තුඩු දෙන සිතක් ඔවුන් තුළ මෙලෙස ඇත්නම් කෙතරම් වාසනාවක් ද!</verse>
				<verse number="30">ඔවුන් වෙත ගොස් ඔවුන්ගේ කූඩාරම් තුළට යන්නට කියන්න.</verse>
				<verse number="31">එහෙත්, නුඹ මෙහි මා ළඟ සිටින්න. මා ඔවුන්ට අයිති කොට දෙන්නට යන දේශයෙහි ඔවුන් පිළිපදින පිණිස ඔවුන්ට ඔබ උගැන්විය යුතු සියලු අණපණත් ද, නීති හා නියෝගයන් ද මම ඔබට දන්වන්නෙමි.’</verse>
				<verse number="32">“එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ පරිදි ඔබ හැම පිළිපැදිය යුතු ය. ඒ කිසිවකට ඔබ අකීකරු නොවිය යුතු ය.</verse>
				<verse number="33">ඔබට දිවි ඇති තාක් ශුභසිද්ධිය වන පිණිසත්, ඔබ අයිති කරගන්නට යන දේශයෙහි චිරාත් කාලයක් ජීවත් වන පිණිසත්, දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කරන සියල්ලට කීකරු ව ජීවත් විය යුතු ය.”</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">“ඔබ අයිති කරගන්නට යන දේශයෙහි පිළිපැදිය යුතු, දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ඉගැන්වීමට අණ කළ, අණපණත් ද නීති හා නියෝග ද මේවා ය.</verse>
				<verse number="2">ඔබට දිවි ඇති තාක්, ඔබත්, ඔබේ පුත්‍රයාත්, පුත්‍රයාගේ පුත්‍රයාත්, දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පාමින්, මා ඔබට අණ කළ උන් වහන්සේගේ සියලු ම නියෝග සහ අණපණත් රක්ෂා කළ යුතු ය. එසේ කළොත්, ඔබ චිරාත් කාලයක් ජීවත් වනු ඇත.</verse>
				<verse number="3">එබැවින් ඉශ්රායෙල්වරුනි, සවන් දී ඒවා පිළිපදින්න. එසේ කළොත්, ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයෙහි ඔබට ශුභසිද්ධිය සැලසෙනු ඇත; ගණනින් ඔබ බහුල ව වර්ධනය වනු ඇත.</verse>
				<verse number="4">“ඉශ්රායෙල්වරුනි, සවන් දෙන්න, අපේ සමිඳාණන් වහන්සේ ම පමණක් දෙවියන් වහන්සේ වන සේක.</verse>
				<verse number="5">දෙවි සමිඳාණන් වහන්සේට ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ආත්මයෙන් ද ඔබේ මුළු වීර්යයෙන් ද ප්‍රේම කළ යුතු ය.</verse>
				<verse number="6">අද දින මා ඔබට දෙන මේ අණපණත් සිතේ ධාරණය කරගත යුතු ය.</verse>
				<verse number="7">ඔබේ දරුදැරියන්ට ඒවා ඉගැන්විය යුතු ය. ඔබ ගෙදර සිටින විට ද, පාරේ යන එන විට ද, සැතපෙන විට ද, අවදි වන විට ද ඒවා ගැන ඔවුන්ට කතා කළ යුතු ය.</verse>
				<verse number="8">අතේ ලකුණක් වනු පිණිස ද, නළල මත පටියක් වන පිණිස ද ඒවා බැඳ ගන්න.</verse>
				<verse number="9">ගෙදර උළුවහුවල සහ දොරටුවේ ඒවා ලියා තබන්න.”</verse>
				<verse number="10">“දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන් වූ ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට දෙන්නට දිවුරා පොරොන්දු වූ දේශයට ඔබ ගෙනා පසු උන් වහන්සේ ඔබ ඉදි නොකළ, විශාල දියුණු නගර ඔබට දානය කරන සේක.</verse>
				<verse number="11">ඔබ නොපිරෙවූ, හොඳ හොඳ දේවලින් පිරුණු ගෙවල් ද, ඔබ නොකැණූ ළිං ද, ඔබ නොවැවූ මිදි උයන් සහ ඔලීව ගස් ද එහි වනු ඇත. ඔබ ඒවා භුක්ති විඳ තෘප්තිමත් වූ පසු</verse>
				<verse number="12">වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ අමතක නොකරන්නට වගබලාගන්න.</verse>
				<verse number="13">ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පමණක් ගරුබිය පෑ යුතු ය. උන් වහන්සේට පමණක් වැඳුම්පිදුම් කළ යුතු ය. උන් වහන්සේගේ නාමයෙන් පමණක් දිවුරුම් දිය යුතු ය.</verse>
				<verse number="14">ඔබ අවට සිටින සෙනඟගේ අනිකුත් දෙවි දේවතාවන්ට ඔබ නමස්කාර නොකළ යුතු ය.</verse>
				<verse number="15">ඔබ එලෙස කළොත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු බැවින්, උන් වහන්සේගේ කෝපය ඔබට විරුද්ධ ව ඇවිළී උන් වහන්සේ ඔබ මිහිතලයෙන් වනසාලන්නට පුළුවන.</verse>
				<verse number="16">“මස්සා නම් ස්ථානයේ දී ඔබ දෙවි සමිඳාණන් වහන්සේ පරීක්ෂා කළාක් මෙන් උන් වහන්සේ පරීක්ෂා නොකරන්න.</verse>
				<verse number="17">ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ උන් වහන්සේගේ අණපණත් ද ශික්ෂා පද ද නීති හා නියෝග ද උනන්දුවෙන් පිළිපැදිය යුතු ය.</verse>
				<verse number="18">ඔබට සෙත සැලසෙන ලෙස සමිඳාණන් වහන්සේ කියන පරිදි සාධාරණ වූ ද, යහපත් වූ ද දේ කරන්න. එවිට උන් වහන්සේ ඔබේ පියවරුන්ට පොරොන්දු වූ සරුසාර රටට ඔබ ඇතුල් වී එය අයිති කරගැනීමට ද,</verse>
				<verse number="19">උන් වහන්සේ වදාළ පරිදි සතුරන් පන්නා දැමීමට ද ඔබට හැකි වනු ඇත.</verse>
				<verse number="20">“මතු කාලයක දී ඔබේ පුතු ඔබ අමතමින්, ‘අපේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ දුන් ශික්ෂා පදවල ද නීති හා නියෝගවල ද තේරුම කුමක් දැ’යි ඇසුවොත්,</verse>
				<verse number="21">ඔබ ඔහුට පිළිතුරු දෙමින් මෙසේ කිව යුතු ය: ‘මිසරයේ දී අපි පාරාවෝ රජුගේ වහලුන් මෙන් සිටියෙමු. එහෙත්, සමිඳාණන් වහන්සේ තම බාහු බලය පාමින් මිසරයෙන් අප ගෙනා සේක.</verse>
				<verse number="22">තවද, උන් වහන්සේ අප බලා සිටිය දී ම මිසර දේශයට, එනම් පාරාවෝ රජු හා ඔහුගේ ගෙවැසියන් හට අති බියජනක හාස්කම් සහ අරුමපුදුම දේ පමුණුවා</verse>
				<verse number="23">උන් වහන්සේ අපේ පියවරුන්ට දිවුරා පොරොන්දු වූ රට අපට දීම සඳහා එහි අප ඇතුල් කිරීමට, මිසරයෙන් පිටතට අප ගෙනා සේක.</verse>
				<verse number="24">තවද, අපට නිරතුරු සෙත සලසන පිණිස මේ නියෝග සියල්ල පිළිපැදීමටත්, දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමටත් අපට අණ කළ සේක. එසේ කළොත්, අද දවසේ මෙන් උන් වහන්සේ අප පණපිටින් රකින සේක.</verse>
				<verse number="25">අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට අණ කළ පරිදි මේ අණපණත් සියල්ල අප ඉටු කළොත් එය අපට යුතු මාර්ගය වනු ඇතැ’යි කිව යුතු ය.”</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">ඔබ අයිති කරගන්නට යන දේශයට “දෙවි සමිඳාණන් වහන්සේ ඔබ පැමිණෙවූ කල, ඔබ ඉදිරියට යන විට ඔබට වඩා ගණනින් විශාල, බලවත් ජාතීන් හතක් වන හිත්තීවරුන් සහ ගිර්ගාෂිවරුන් ද, අමෝරිවරුන් සහ කානානිවරුන් ද, පෙරෙස්සිවරුන් සහ හිවීවරුන් ද, ජෙබුසිවරුන් ද උන් වහන්සේ පලවා හරින සේක.</verse>
				<verse number="2">උන් වහන්සේ ඔබට ඔවුන් පාවා දුන් පසු ඔබ ඔවුන්ට පහර දී සහමුලින් ම ඔවුන් වැනසිය යුතු ය. ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කර නොගත යුතු ය. ඔවුන්ට දයාවක් නොපෙන්විය යුතු ය.</verse>
				<verse number="3">ඔවුන් සමඟ සරණබන්ධන ඇති කර නොගත යුතු ය. ඔබේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන් හට විවාහ කර නොදිය යුතු ය. ඔවුන්ගේ දූවරුන් ඔබේ පුත්‍රයන් හට ආවාහ කර නොගත යුතු ය.</verse>
				<verse number="4">එසේ කළොත්, අන් දෙවි දේවතාවන් හට වැඳුම්පිදුම් කරනු පිණිස, මා අනුගමනය කිරීමෙන් ඔව්හු ඔබේ පුත්‍රයන් වළක්වන්නෝ ය. එවිට සමිඳාණන් වහන්සේගේ කෝපය ඔබට විරුද්ධ ව ඇවිළී, උන් වහන්සේ විගස ඔබ වනසාලනු ඇත.</verse>
				<verse number="5">ඔබ ඔවුන්ට මෙලෙස කළ යුතු ය. ඔවුන්ගේ පූජාසන කඩාදමා, රූපස්තම්භ බිඳදමා, අෂේරා කප් කණු කපාදමා, නෙළූ දේව රූප ගින්නේ දැවිය යුතු ය.</verse>
				<verse number="6">මෙසේ කළ යුත්තේ, ඔබ වනාහි දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ ශුද්ධ සෙනඟක් වන බැවිනි. පොළෝ තලයෙහි සිටින සියලු සෙනඟ අතරෙන් තමන් වහන්සේට ම විශේෂ වූ සෙනඟක් මෙන් උන් වහන්සේ ඔබ තෝරාගත් සේක.</verse>
				<verse number="7">“සමිඳාණන් වහන්සේ ඔබට ප්‍රේම කෙළේත්, ඔබ තෝරාගත්තේත්, අන් සෙනඟකට වඩා ඔබ ගණනින් බහුල වූ නිසා නොවේ. ඔබ වනාහි සියලු සෙනඟ අතරෙන් ඉතා ම කුඩා ජනතාවකි.</verse>
				<verse number="8">එහෙත්, සමිඳාණන් වහන්සේ ඔබට ප්‍රේම කළ බැවිනුත්, ඔබේ පියවරුන්ට උන් වහන්සේ දිවුළ පොරොන්දුව ඉටු කිරීමට කැමැති වූ බැවිනුත්, උන් වහන්සේ සිය බාහු බලය පෙන්වා, ඔබ මුදාගෙන අවුත්, මිසර රජ වූ පාරාවෝ ඔබ බැඳ සිටි වහල්කමේ බැමිවලින් ඔබ ගළවා ලූ සේක.</verse>
				<verse number="9">එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ පමණක් දෙවියන් වහන්සේ බවත්, උන් වහන්සේ විශ්වාසවන්ත දෙවි කෙනෙකු බවත් දැනගන්න. උන් වහන්සේට කරුණාව පාමින්, උන් වහන්සේගේ අණපණත් පිළිපදින අයට පරම්පරා දහසක් දක්වා උන් වහන්සේත් ගිවිසුම ඉටු කරමින් ස්ථීර ප්‍රේමය දක්වන සේක.</verse>
				<verse number="10">උන් වහන්සේට වෛර කරන්නන් වනසාලමින්, ඔවුන්ගේ මුහුණ ඉදිරිපිට ම ඔවුන්ට විපාක දෙන සේක. උන් වහන්සේට වෛර කරන්නන්ට මුහුණ ඉදිරිපිට දී ම විපාක දීමට උන් වහන්සේ ප්‍රමාද නො වන සේක.</verse>
				<verse number="11">එබැවින් මා ඔබට අද දින නියම කරන අණපණත් ද, නීති හා නියෝග ද ආරක්ෂා කරමින් ඔබ ඒවා පිළිපැදිය යුතු ය.”</verse>
				<verse number="12">“ඔබ මේ නියෝගයන්ට සවන් දී, ඒවා ආරක්ෂා කොට, පිළිපදින්නහු නම්, දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුළ ගිවිසුම ඉටු කරන සේක. ඔවුන්ට පෙන්වූ කරුණාව ඔබටත් පෙන්වන සේක.</verse>
				<verse number="13">තවද උන් වහන්සේ ඔබේ පියවරුන්ට දෙන්නට දිවුළ දේශයේ දී, ඔබට ප්‍රේම කොට, ආසිරි දී, වැඩි වර්ධනය කරන සේක. ඔබට ලැබෙන දරු පරපුරට ද රටේ පලදාවට ද ධාන්‍යවලට ද මිදියුසට හා තෙල්වලට ද ආසිරි දෙන සේක. ඔබේ ගවමහිෂයන් ද බැටළු පට්ටි ද ගණනින් බහුල කරන සේක.</verse>
				<verse number="14">සියලු මනුෂ්‍යයන්ට වඩා ඔබ ආසිරි ලබනු ඇත. ඔබ අතර ස්ත්‍රී පුරුෂයන් හෝ ගවමහිෂයන් හෝ වඳ නොවනු ඇත.</verse>
				<verse number="15">සමිඳාණන් වහන්සේ ඔබ අතරෙන් සියලු ලෙඩ දුක් දුරු කරනු ඇත. ඔබ දන්නා වූ, මිසරයේ තිබුණ, කිසි භයානක රෝගයක් ඔබ වෙත නොපැමිණෙනු ඇත. ඔබට වෛර කරන්නන් මත ඒවා උන් වහන්සේ එවන සේක.</verse>
				<verse number="16">ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පාවා දෙන සියලු සෙනඟ වනසා දැමිය යුතු ය. ඔබ ඔවුන්ට කිසි ම අනුකම්පාවක් නොදැක්විය යුතු ය. ඔවුන්ගේ දෙවිවරුන්ට වැඳුම්පිදුම් නොකළ යුතු ය. එසේ කළොත්, එය ඔබට මලපතක් වනු ඇත.</verse>
				<verse number="17">“ ‘මේ ජාතීහු අපට වඩා බහුල ය. අප ඔවුන් පන්නා දමන්නේ කෙසේ දැ’යි ඔබට සිතෙන විට</verse>
				<verse number="18">ඔවුන්ට බිය නොවන්න. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ පාරාවෝ රජුට හා මුළු මිසරයට කළ දේවල් ද,</verse>
				<verse number="19">ඔබේ ම ඇසින් ඔබ දුටු භයානක වසංගත ද, හාස්කම් හා අරුමපුදුම දේ ද හොඳින් සිහි කරන්න. දෙවි සමිඳාණන් වහන්සේ ඔබ මුදාලීමට යෙදු බාහු බලය ද, දිගු කළ හස්තය ද සිහි කරන්න. ඔබ බිය වන්නේ යම් සෙනඟකට ද ඔවුන් සියල්ලන්ට ම උන් වහන්සේ පෙර සේ ම කරන සේක.</verse>
				<verse number="20">ඔබෙන් ගැළවී, සැඟවුණු අය වනසාලන තෙක්, දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් වෙත දෙබරුන් එවන සේක.</verse>
				<verse number="21">ඔබ ඔවුන්ට බිය නොවිය යුතු ය. ඔබ අතර වැඩ සිටින ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ බලවත්, බිය උපදවන දෙවි කෙනෙකු වන සේක.</verse>
				<verse number="22">ඔබ ඉදිරියට යන විට, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ටිකින් ටික, ඒ ජාතීන් නෙරපා දමනු ඇත. ඔබ ඔවුන් එක වර ම වනසාලිය යුතු නොවේ. මන්ද, එසේ කළොත් වන මෘගයෝ ඔබට විරුද්ධ ව වැඩි වන්නෝ ය.</verse>
				<verse number="23">ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ඔවුන් පාවා දෙනු ඇත. ඔවුන් නැත්තට ම නැති වන තෙක් මහා විපත්ති පමුණුවා ඔවුන් වනසාලන සේක.</verse>
				<verse number="24">උන් වහන්සේ ඔවුන්ගේ රජවරුන් ඔබේ බලයට පාවා දෙනු ඇත. ඔබ ද ඔවුන්ගේ නම මිහි පිටින් මකා දැමිය යුතු ය. ඔබ ඔවුන් වනසාලන විට කිසිවෙකුට ඔබට විරුද්ධ ව නැඟී සිටින්නට නොහැකි වනු ඇත.</verse>
				<verse number="25">ඔබ ඔවුන්ගේ දෙවි දේවතාවන්ගේ නෙළූ පිළිම ගින්නෙන් පුළුස්සා දැමිය යුතු ය. ඒ පිළිම මත ඇති රිදීවලට හෝ රන්වලට හෝ ආසා නොකළ යුතු ය. ඔබේ ප්‍රයෝජනයට ඒවා නොගත යුතු ය. එසේ කළොත් ඒවා ඔබට මලපතක් විය හැකි ය. මේ සියල්ල ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පිළිකුල් ය.</verse>
				<verse number="26">මෙවැනි පිළිකුල් දේ ඔබේ ගෙදරට ද නොගත යුතු ය. එසේ කළොත්, ඔබත් ඒවා හා සමාන සාප ලත් දෙයක් වනු ඇත. ඒ පිළිම සාප ලත් ඒවා බැවින් ඔබ ඒවා සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කොට හෙළා දැකිය යුතු ය.”</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">“සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුරා පොරොන්දු වූ දේශයට ඔබ ඇතුළු වී එහි ඔබ ජීවත් වී, ගණනින් වැඩි වී, එය අයිති කරගනු පිණිස මා අද දින ඔබට නියම කරන සියලු අණපණත් ඔබ රක්ෂා කරමින් පිළිපැදිය යුතු ය.</verse>
				<verse number="2">තවද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපණත් ඔබ පිළිපදින්නහු ද නැද්ද කියා ඔබේ සිත දැනගනු පිණිස, මේ හතළිස් අවුරුද්ද තුළ පාළුකරය ඔස්සේ ඔබ යටහත් බවට පමුණුවා, සෝදිසි කරමින් උන් වහන්සේ ඔබ ගෙන ගිය දීර්ඝ ගමන සිහි කරන්න.</verse>
				<verse number="3">උන් වහන්සේ ඔබ යටහත් බවට පමුණුවා සාගින්නෙන් යන්නට හැරිය සේක. ඉන්පසු ඔබ වත්, ඔබේ පියවරුන් වත් නොදත් ‘මන්නා’ නමැති කෑමෙන් ඔබ පෝෂණය කළ සේක. උන් වහන්සේ මෙසේ කෙළේ මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව සමිඳාණන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචනවලින් බව ඔබට උගන්වනු පිණිස ය.</verse>
				<verse number="4">ඒ අවුරුදු සතළිස තුළ ඔබ ඇඳ සිටි ඇඳුම් පරණ නො වී ය, ඔබේ පාද ඉදිමුණේ නැත.</verse>
				<verse number="5">පියෙකු තම පුතා හික්මවන්නා සේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ද ඔබ හික්මවන බව ඔබ මෙනෙහි කළ යුතු ය.</verse>
				<verse number="6">එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපණත් පිළිපදිමින් උන් වහන්සේගේ මාර්ගයෙහි යමින් ගරුබිය පෑ යුතු ය.</verse>
				<verse number="7">ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ සරුසාර රටකට ඔබ ගෙනෙන සේක. ඒ වනාහි දිය ඇළවලින් ද, මිටියාවතින් සහ කඳුකරයෙන් පැන නඟින දිය උල්පතින් සහ පොකුණුවලින් ද ගහණ වූ රටකි.</verse>
				<verse number="8">එය තිරිඟු සහ යව ද, මිදි ද අත්තික්කා හා දෙළුම් ද, ඔලීව ද, තෙල් හා මී පැණි ද ඇති රටකි.</verse>
				<verse number="9">හිඟයක් නැතිව කෑමට ආහාර ද, ඔබට අවශ්‍ය සියල්ල ද ඇති රටකි. එහි පර්වතවල යබොර ඇත, එහි කඳුවැටියෙන් තඹ කැණගන්නට පුළුවන.</verse>
				<verse number="10">ඔබ ආහාර අනුභව කර තෘප්තිමත් වූ පසු, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දුන් සරුසාර රට උදෙසා උන් වහන්සේට ස්තුති පිදිය යුතු ය.”</verse>
				<verse number="11">“මම අද දින ඔබට අණ කරන ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපණත් ද නීති හා නියෝග ද නොපිළිපැදීමෙන් උන් වහන්සේ අමතක නොකරන ලෙස වගබලාගන්න.</verse>
				<verse number="12">ඔබ ආහාර අනුභව කර තෘප්තිමත් වී, හොඳ ගෙවල් තනා, ඒවායේ පදිංචි වූ පසු ද,</verse>
				<verse number="13">ඔබේ ගව පට්ටි සහ එළු බැටළු පට්ටි ගණනින් බහුල වී, රන් රිදී වැඩි වී, ඔබ සතු සියල්ල වර්ධනය වු පසු ද</verse>
				<verse number="14">ඔබ හිස උදුම්මා නොගෙන, වහල්කමේ නිවාසය වන මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අමතක නොකරන්න.</verse>
				<verse number="15">විසකුරු සර්පයන්ගෙන් හා ගෝනුස්සන්ගෙන් ගහණ වූ මහා භයානක පාළුකරය ඔස්සේ උන් වහන්සේ ඔබ ගෙන ගිය සේක. නියඟය පැවති, වතුර නැති ස්ථානවල දී කළුගල් පර්වතයෙන් ඔබට වතුර ලබා දුන් සේක.</verse>
				<verse number="16">පාළුකරයේ දී ඔබේ පියවරුන් පවා නොදත්, ‘මන්නා’ නමැති ආහාරයකින් උන් වහන්සේ ඔබ පෝෂණය කළ සේක. උන් වහන්සේ එසේ කෙළේ ඔබ යටහත් බවට පමුණුවා, ඔබ සෝදිසි කොට, අන්තිමේ දී ඔබට සෙත සලසනු සඳහා ය.</verse>
				<verse number="17">‘මා මේ ධන සම්පත උපයාගත්තේ මගේ ම බල පුළුවන්කමින් සහ සවි ශක්තියෙන් ය’යි ඔබ නොකීමට වගබලාගන්න.</verse>
				<verse number="18">ඔබට ධන සම්පත උපයාගැනීමට බල පුළුවන්කම දෙනුයේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ බව ඔබ සිහිපත් කළ යුතු ය. උන් වහන්සේ එසේ කරන්නේ, අද පවතින පරිදි උන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුරුම් දුන් ගිවිසුම ඉටු කරන පිණිස ය.</verse>
				<verse number="19">ඔබ දෙවි සමිඳාණන් වහන්සේ අමතක කොට, අන් දෙවි දේවතාවන් පසුපස යමින් ඔවුන්ට වැඳුම්පිදුම් හා නමස්කාර කළොත්, ඔබ ඇත්තට ම නැසීවැනසී යන බව මම අද සහතික කොට කියමි.</verse>
				<verse number="20">ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට ඔබ කීකරු නො වූ වොත්, සමිඳාණන් වහන්සේ ඔබේ ඇස් ඉදිරිපිට දී ම ජාතීන් විනාශ කළාක් මෙන්, ඔබ ද විනාශ කරන සේක.”</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">“ඉශ්රායෙල්වරුනි, සවන් දෙන්න. ඔබ අද දින ජොර්දාන් ගඟින් එතෙර වී යා යුතු ය. ඔබ යා යුත්තේ, ගණනින් ඔබට වඩා විශාල වූ ද බලසම්පන්න වූ ද ජාතීන්ගේ රටවල් හා අහස් කුස දක්වා නඟින පවුරුවලින් වට වූ විශාල නගර ආක්‍රමණය කරනු පිණිස ය.</verse>
				<verse number="2">ඒවායේ ඇත්තේ, අනාක්වරුන්ගේ පෙළපතට අයිති ගණනින් විශාල සෙනඟකි. ඔව්හු ඉතා උස මහත මිනිස්සු ය. ඔවුන් ගැන ඔබ දන්නහු ය. ‘අනාක්ගේ සෙනඟට විරුද්ධ ව නැඟිට සිටින්නට හැක්කේ කාට දැ’යි යන කීම ද ඔබ අසා ඇත.</verse>
				<verse number="3">එබැවින් අද දින ඔබ මෙය වටහාගත යුතු ය. ඔබට පෙරටුවෙන් වඩින තැනැන් වහන්සේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ය. බුර බුරා නඟින ගින්නකින් මෙන් උන් වහන්සේ ඔවුන් වනසාලනු ඇත. ඔබ බලා සිටිය දී ම උන් වහන්සේ ඔවුන්ගේ බලය බිඳිනු ඇත. එවිට උන් වහන්සේ වදාළ පරිදි ඔබ ඔවුන් පන්නාදමා, විගස වනසාදමනු ඇත.</verse>
				<verse number="4">“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් නෙරපා දැමූ පසු, ‘සමිඳාණන් වහන්සේ මේ රට මට අයිති කර දීමට මා ගෙනාවේ මාගේ දැහැමිකම නිසා ය’යි නොසිතන්න. එසේ නොව ඔබ ඉදිරියට යන විට උන් වහන්සේ ඔවුන් පන්නා දැමුවේ මේ ජාතීන්ගේ දුෂ්ටකම නිසා ය.</verse>
				<verse number="5">ඔවුන්ගේ රට ඔබ අයිති කරගන්නට යනුයේ ඔබේ දැහැමිකම නිසා වත්, ඔබේ සිත්හි අවංකකම නිසා වත්, නො වේ. එසේ නොව, ඔබ යන විට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් පන්නා දමනුයේ මේ ජාතීන්ගේ දුෂ්ටකම නිසා ය. මෙසේ කිරීමෙන් ඔබේ පියවරුන් වන ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට සමිඳාණන් වහන්සේ දිවුළ වචනය ඉටු කරන සේක.</verse>
				<verse number="6">එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ මේ සාර භූමිය ඔබට අයිති කර දෙනුයේ ඔබේ දැහැමිකම නිසා නොවන බව තේරුම්ගන්න. මන්ද, ඔබ වනාහි මුරණ්ඩු සෙනඟකි.”</verse>
				<verse number="7">“පාළුකරයේ දී ඔබ දෙවි සමිඳාණන් වහන්සේ කුපිත කළ අන්දම අමතක නොකොට සිතේ තබාගන්න. මිසර දේශයෙන් පිටත් වූ දා සිට මෙතැනට එන තෙක් ම ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගැසුවහු ය.</verse>
				<verse number="8">හොරෙබ් කන්දේ දී පවා ඔබ උන් වහන්සේ කුපිත කළහු ය. එවිට ඔබ වනසාලන තරමට පවා උන් වහන්සේ ඔබ සමඟ කිපුණ සේක.</verse>
				<verse number="9">සමිඳාණන් වහන්සේ ඔබ සමඟ පිහිටෙවූ ගිවිසුම සටහන් කළ ගල් පුවරු ලබාගැනීම සඳහා මම කන්දට නැඟ එහි දවල් සතළිසක් සහ රාත්‍රි සතළිසක් නැවතී සිටියෙමි. එකල මම කිසිත් නොකා නොබී සිටියෙමි.</verse>
				<verse number="10">එවිට දෙවියන් වහන්සේගේ ඇඟිල්ලෙන් ලියන ලද ගල් පුවරු දෙක සමිඳාණන් වහන්සේ මට භාර දුන් සේක. ජනතාව රැස් කළ දිනයෙහි ගින්න මැද සිට සමිඳාණන් වහන්සේ කන්දේ දී ඔබ සමඟ කතා කළ සියල්ල ම එහි සටහන් කර තිබිණි.</verse>
				<verse number="11">තවද, දවල් සතළිසක් සහ රාත්‍රි සතළිසක් ගෙවී ගිය පසු සමිඳාණන් වහන්සේ ගිවිසුම ලියා තිබූ ගල් පුවරු දෙක මට දුන් සේක.</verse>
				<verse number="12">“එවිට සමිඳාණන් වහන්සේ මට කතා කොට, ‘නැඟිට, ඉක්මනට කන්දෙන් බැස යන්න. නුඹ මිසර දේශයෙන් පිටතට ගෙනා නුඹේ සෙනඟ තමන් ම දූෂ්‍ය කරගෙන ඇත. මා ඔවුන්ට අණ කළ මාර්ගයෙන් ඔවුන් විගස අන් අතකට හැරී ගොස්, තමන්ට ම වාත්තු කළ පිළිමයක් සාදාගෙන ඇතැ’යි වදාළ සේක.</verse>
				<verse number="13">“උන් වහන්සේ තවදුරටත් මට කතා කොට, ‘මම මේ සෙනඟ දැන අඳුනමි. ඔවුන් මුරණ්ඩු සෙනඟක් බව මට පෙනේ.</verse>
				<verse number="14">මිහි පිටින් ඔවුන්ගේ නම මකා දමා, ඔවුන් වනසාලනු පිණිස මට ඉඩ හරින්න. එහෙත්, මම නුඹගෙන්, ඔවුන්ට වඩා බලසම්පන්න, ගණනින් විශාල ජාතියක් පිහිටුවමි’යි වදාළ සේක.</verse>
				<verse number="15">“මම ද ආපසු හැරී කන්දෙන් බැස ආවෙමි. කන්ද ගින්නෙන් දැවි දැවී තිබිණි. ගිවිසුමේ ගල් පුවරු දෙක ද මා දෑතෙහි විය.</verse>
				<verse number="16">මම ද බලන විට, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ඔබ පව් කර තිබෙන බවත්, ඔබට ම වාත්තු කළ පිළිමයක් තනාගෙන තිබෙන බවත් දිටිමි. සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ මාර්ගයෙන් ඔබ විගස අන් අතකට හැරී තිබිණි.</verse>
				<verse number="17">ඔබේ ඇස් ඉදිරියෙහි ම, මම ගල් පුවරු දෙක ගෙන, දෑතින් ම විසිකොට බිඳ දැම්මෙමි.</verse>
				<verse number="18">එවිට මම කලින් කළාක් මෙන්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දාවල් සතළිසක් සහ රාත්‍රි සතළිසක් මුණින්තළා වැඳ වැටී කිසිත් නොකා නොබී සිටියෙමි. මා එසේ කෙළේ ඔබ බොහෝ සේ පව් කොට, උන් වහන්සේ ඉදිරියෙහි දුෂ්ට ලෙස හැසිරෙමින්, උන් වහන්සේ කුපිත කළ බැවිනි.</verse>
				<verse number="19">ඔබ වනසාලනු පිණිස උන් වහන්සේ උදහස් වීම ගැනත්, ඔබ කෙරෙහි වූ තද අප්‍රසන්න ගතිය සහ කෝප වීම ගැනත් මම බිය වුණෙමි. එහෙත්, සමිඳාණන් වහන්සේ ඒ අවස්ථාවේ දී පවා මට සවන්දුන් සේක.</verse>
				<verse number="20">සමිඳාණන් වහන්සේ ආරොන් ද විනාශ කරන පිණිස ඔහුට විරුද්ධ ව ඉතා උදහස් ව සිටි සේක. මම ඒ අවස්ථාවේ දී ඔහු උදෙසාත් යාච්ඤා කෙළෙමි.</verse>
				<verse number="21">මම ද ඔබේ පාපිෂ්ට දේ වන ඔබ සැදූ වස්සා ගෙන, ගින්නෙන් දවා පුළුස්සා, කොටා, දූවිලි හා සමාන කුඩක් වන තෙක් ඌ හොඳට අඹරා, ඒ දූවිලි කන්දෙන් ගලා ගිය දිය පාරට දැමීමි.</verse>
				<verse number="22">“තවද, ඔබ තාබෙරා, මස්සා සහ කිබ්‍රොත්-හත්තාවා යන ස්ථානවල දී සමිඳාණන් වහන්සේ කුපිත කළහු ය.</verse>
				<verse number="23">සමිඳාණන් වහන්සේ කාදෙෂ්-බර්නේය නම් ස්ථානයෙන් ඔබ යවමින්, ‘මා නුඹට දුන් දේශයට ඇතුල් වී, එය අයිති කරගත යුතු ය’ කියා කී විට, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණට විරුද්ධ ව ඔබ කැරලි ගසා, උන් වහන්සේ අවිශ්වාස කොට, උන් වහන්සේගේ හඬට සවන් නුදුන්නහු ය.</verse>
				<verse number="24">මා ඔබ දැනගත් දා සිට ම ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගැසුවහු ය.</verse>
				<verse number="25">“ ‘සමිඳාණන් වහන්සේ වන මම ඔබ වනසමි’යි වදාළ බැවින් මම උන් වහන්සේ ඉදිරියෙහි දාවල් සතළිසක් සහ රාත්‍රි සතළිසක් මුණින්තලා වැටී සිටියෙමි.</verse>
				<verse number="26">මම ද සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින්, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, ඔබ බාහු බලය පාමින් මිසරයෙන් පිටතට ගෙනා, ඔබේ බලසම්පන්න භාවය පෙන්වා ඔබ මුදාගත්, ඔබේ උරුමයත්, සෙනඟත් විනාශ නොකළ මැනව.</verse>
				<verse number="27">ඔබේ දාසයන් වන ආබ්‍රහම් ද ඊසාක් ද ජාකොබ් ද සිහි කළ මැනව. මේ සෙනඟගේ මුරණ්ඩුකම හෝ ඔවුන්ගේ දුෂ්ටකම හෝ පාප හෝ ඔබ නොසැලකුව මැනව.</verse>
				<verse number="28">එසේ නැත්නම්, සමිඳාණන් වහන්සේ වන ඔබ ඔවුන්ට පොරොන්දු වූ දේශයට ඔවුන් ගෙන ඊමට ඔබට නොහැකි වූ නිසාත්, ඔබ ඔවුන්ට වෛර කළ නිසාත්, ඔවුන් මරා දමනු පිණිස මේ පාළුකරයට ගෙනා සේකැ යි, මිසර වාසීන් කියනු ඇත.</verse>
				<verse number="29">මේ සෙනඟ වනාහි, ඔබ මහා බලය පාමින් ඔබේ දිගු කළ හස්තයෙන් ඔබ මිසර දේශයෙන් පිටතට ගෙනා ඔබේ උරුමය සහ ඔබේ ම සෙනඟ ය’යි කීවෙමි.”</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">“එකල සමිඳාණන් වහන්සේ මට කතා කොට, ‘කලින් තිබුණු ගල් පුවරු මෙන් ගල් පුවරු දෙකක් කපාගෙන මා වෙත කන්ද මුදුනට අවුත් ලීයෙන් කරඬුවක් සාදන්න,</verse>
				<verse number="2">නුඹ බිඳ දැමූ පළමු පුවරුවල තිබූ වචන මේ පුවරුවල නැවත මම ලියන්නෙමි. නුඹ ඒවා කරඬුව තුළ දැමිය යුතු ය’යි වදාළ සේක.</verse>
				<verse number="3">“මම ද ෂිටිම් ලීයෙන් කරඬුවක් සාදා, කලින් තිබූ පුවරු හා සමාන ගල් පුවරු දෙකක් කපාගෙන ඒ පුවරු දෙක අතට ගෙන කන්දට නැංගෙමි.</verse>
				<verse number="4">එවිට උන් වහන්සේ රැස්වීම පැවැත්වූ දින ගින්න මැද සිට කන්දේ දී ඔබට සමිඳාණන් වහන්සේ වදාළ දස පණත කලින් ලියූ පරිදි ගල් පුවරු මත ලියූ සේක. මෙසේ ලියා මට දුන් පසු</verse>
				<verse number="5">මම ආපසු හැරී, කන්දෙන් බැස අවුත් මා සැදූ කරඬුව තුළ ඒවා දැමුවෙමි. උන් වහන්සේ මට අණ කළ පරිදි ඒවා අද දක්වා එහි ඇත.</verse>
				<verse number="6">“ඉශ්රායෙල් ජනයා බෙනේ-ජාකන් නම් ස්ථානයේ සෙනඟට අයිති ළිං තිබූ තැනින් නික්ම මොසේරා දක්වා ගමන් ගත්හ. එහි දී ආරොන් මරණයට පත් වූයෙන් එහිම භූමදාන කරන ලදී. ඔහු වෙනුවට ඔහුගේ පුත් එලෙයාසර් පූජක නිලයේ සේවය කෙළේ ය.</verse>
				<verse number="7">එතැනින් ඔව්හු ගුද්ගොදා නම් ස්ථානයට ද මෙතැනින් ජලය බහුල ව තිබූ ජොත්බාතා නම් රටට ද පිටත් ව ගියහ.</verse>
				<verse number="8">එකල සමිඳාණන් වහන්සේ තමන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලාගෙන යනු සඳහා ද උන් වහන්සේ ඉදිරියෙහි සේවය කිරීමට ද සිය නාමයෙන් ආශීර්වාදය පැවසීමට ද අද දක්වා ම පැවත එන පරිදි ලෙවීගේ ගෝත්‍රයේ ජනයා පත් කළ සේක.</verse>
				<verse number="9">එබැවින් ලෙවීගේ ගෝත්‍රයේ ජනයාට ඔහුගේ සොහොයුරන්ගේ ගෝත්‍රවල අයට මෙන් රටින් කොටසක් උරුම වී නැත. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ පොරොන්දු වූ ලෙස ඔවුන්ගේ උරුම කොටස සමිඳාණන් වහන්සේ ම වන සේක.</verse>
				<verse number="10">“මම පළමුවෙන් කළාක් මෙන් දවල් සතළිසක් සහ රාත්‍රි සතළිසක් කන්ද මත නැවතී සිටියෙමි. එවිට පවා උන් වහන්සේ මට සවන් දී ඔබ විනාශ නොකිරීමට එකඟ වූ සේක.</verse>
				<verse number="11">උන් වහන්සේ මා අමතා, ‘නුඹේ පියවරුන්ට දෙන්නට දිවුළ දේශයට ඇතුළු වී එය අයිති කරගනු පිණිස, නැඟිට සෙනඟට පෙරටුවෙන් යන්නැ’යි වදාළ සේක.”</verse>
				<verse number="12">“දැන් ඉතින් ඉශ්රායෙල් ජනයෙනි, දෙවි සමිඳාණන් වහන්සේට ඔබෙන් උවමනා වී ඇත්තේ කුමක් ද? උවමනා වී ඇත්තේ දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමත්, උන් වහන්සේගේ සියලු මාර්ගවල යෑමත්, උන් වහන්සේට ප්‍රේම කිරීමත්, ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු සිතින් ද උන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමත්,</verse>
				<verse number="13">මා අද දින ඔබේ ශුභසිද්ධිය තකා ඔබට අණ කරන උන් වහන්සේගේ අණපණත්, නීති හා නියෝග පිළිපැදීමත් ය.</verse>
				<verse number="14">බලන්න, ස්වර්ගයත්, ස්වර්ගයෙහි ස්වර්ගයත්, පොළොවත්, එහි ඇති සියල්ලත් අයිති ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ය.</verse>
				<verse number="15">එහෙත්, උන් වහන්සේ ඔබේ පියවරුන්ට ඉමහත් ප්‍රේමයක් දක්වමින් ඔවුන්ගෙන් පසු, අද පවතින පරිදි, ඔවුන්ගේ පෙළපත වන ඔබ ද අන් සියලු ජාතීන් අතරින් තෝරාගත් සේක.</verse>
				<verse number="16">එබැවින් ඔබේ සිත් සතන්හි පාප මල කපා හැර, මින්පසු මුරණ්ඩු නොවන්න.</verse>
				<verse number="17">ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ දේවාතිදේව ය. ස්වාමිවරුන්ගේ සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේ මහා බලසම්පන්න, බිය උපදවන සුලු, මිනිසුන්ගේ තරාතිරම් නොබලන, අල්ලස් නොගන්න දෙවියන් වහන්සේ ය.</verse>
				<verse number="18">උන් වහන්සේ අනාථ වූවන්ට සහ වැන්දඹුවන්ට යුක්තිය ඉටු කරන සේක. ආගන්තුකයන් හට කෑම, ඇඳීම දෙමින් ප්‍රේමය දක්වන සේක.</verse>
				<verse number="19">බැවින්, ඔබ ද මිසර දේශයෙහි ආගන්තුකයන් ව සිටි බැවින්, මොවුන්ට ප්‍රේමය දක්වන්න.</verse>
				<verse number="20">ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පමණක් ඔබ ගරුබිය දක්වමින් උන් වහන්සේට පමණක් වැඳුම්පිදුම් කළ යුතු ය. උන් වහන්සේට පමණක් ඇළුම් ව සිටිය යුතු ය. උන් වහන්සේගේ නාමයෙන් පමණක් දිවුරුම් දිය යුතු ය.</verse>
				<verse number="21">ඔබ ප්‍රශංසා කළ යුත්තේ, බල බලා සිටිය දී ම මේ මහා භයානක දේවල් ඔබ උදෙසා ඉටු කළ, ඔබේ දෙවියන් වහන්සේට ය.</verse>
				<verse number="22">ඔබේ පියවරුන් මිසර දේශයට යන විට සිටියේ හැත්තෑදෙනෙකි. එහෙත්, දැන් නම් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අහසේ තරු මෙන් ගණනින් ඔබ වැඩි වර්ධනය කර ඇත.”</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">“ඔබ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කොට, නිතර ම උන් වහන්සේගේ අනුශාසනා ද නීති නියෝග සහ අණපණත් ද පිළිපැදිය යුතු ය.</verse>
				<verse number="2">අද දින මෙය දැනගන්න. මා කතා කරන්නේ ඒවා නොදත් ඔබේ දරුවන් සමඟ නොව ඔබ සමඟ ය. ඔබේ දරුවෝ වනාහි, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ එවූ දඬුවම් ද, උන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය සහ බාහු බලය ද, දිගු කළ හස්තය ද,</verse>
				<verse number="3">මිසරයේ රජ වූ පාරාවෝට සහ ඔහුගේ මුළු රටටත්, මිසරය මැද කළ හාස්කම් සහ ප්‍රබල ක්‍රියා ද,</verse>
				<verse number="4">මිසරයේ හමුදාවටත් ඔවුන්ගේ අශ්වයන්ට සහ රථවලටත් උන් වහන්සේ කළ දේ ද, ඔවුන් ඔබ ලුහුබැඳ යද්දී රතු මුහුදේ වතුර ඔවුන් මත ගලා යෑමට සලස්වා ඔවුන් සහමුලින් ම වැනසූ අන්දම ද,</verse>
				<verse number="5">ඔබ මේ ස්ථානයට එන තෙක් පාළුකරයේ දී උන් වහන්සේ ඔබට කළ දේ ද,</verse>
				<verse number="6">රෑබන්ගේ පුත් එලියාබ්ගේ පුත්‍රයා වන දාතාන්ට සහ අබිරාම්ට කළ දේ ද, මුළු ඉශ්රායෙල් ජනයා මැද පොළොව විවර වී ඔවුන් ද ඔවුන්ගේ ගෙවැසියන් ද කූඩාරම් ද ඔවුන් සතු සියලු සම්පත ද ගිලගත් ආකාරය ද නුදුටුවහු ය.</verse>
				<verse number="7">එහෙත්, සමිඳාණන් වහන්සේ කළ සියලු ප්‍රබල ක්‍රියා ඔබේ දෙනෙතින් ඔබ දුටුවහු ය.”</verse>
				<verse number="8">“එබැවින් මා ඔබට අද දින නියම කරන සියලු අණපණත් ඔබ පිළිපැදිය යුතු ය. එසේ කළොත්, ඔබ ශක්තිමත් වී, හිමි කරගන්නට යන දේශයට ඇතුළු වී එය අයිති කරගනු ඇත.</verse>
				<verse number="9">සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ටත්, ඔවුන්ගේ පෙළපතටත් දෙන්නට පොරොන්දු වූ කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන ඒ දේශයෙහි ඔබට චිරාත් කාලයක් ජීවත් වීමට හැකි වනු ඇත.</verse>
				<verse number="10">ඔබ අයිති කරගන්නට යන දේශය ඔබ නික්ම පැමිණි මිසර දේශය මෙන් නොවේ. මිසරයේ නම් වැපුරුවායින් පසු, එළවළු වත්තකට මෙන් ජල රෝදයක් පෑගීමෙන් ජලය සැපයීම කළ යුතුව තිබුණි.</verse>
				<verse number="11">එහෙත්, ඔබ අයිති කරගන්නට යන රට, අහසින් වහින වැහි වතුර උරා බොන කඳුවැටිවලින් හා නිම්නවලින් යුත් එකකි.</verse>
				<verse number="12">එය ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ සලකන රටකි, අවුරුද්දේ මුල සිට අග දක්වා උන් වහන්සේගේ බැල්ම නිතර ම ඒ රට කෙරෙහි යොමු ව පවතී.</verse>
				<verse number="13">“අද දින මා ඔබට නියම කරන අණපණත්වලට ඔබ උනන්දුවෙන් සවන් දී, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කොට, ඔබේ මුළු හෘදයෙන් ද, ඔබේ මුළු ආත්මයෙන් ද උන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නහු නම්,</verse>
				<verse number="14">ඔබේ දේශයට නියම කාලය වන සරත් කාලයේ දී සහ වසන්තයේ දී වැසි වස්වනු ඇත. එවිට ඔබට ඔබේ ධනධාන්‍ය ද මිදිපල ද තෙල් ද එකතු කරගත හැකි ය.</verse>
				<verse number="15">ඔබේ ගවමහිෂයන් සඳහා කෙත්වල තණ වැවෙන්නට ද සලස්වනු ඇත. ඔබට කෑම කා තෘප්තිමත් වීමට හැකි වනු ඇත.</verse>
				<verse number="16">එහෙත්, අන් මඟක ගොස්, අන් දෙවි දේවතාවන්ට වැඳුම්පිදුම් හා නමස්කාර කරන සේ නොරැවටෙන්නට වගබලාගන්න.</verse>
				<verse number="17">ඔබ එසේ නොකළොත්, ඔබට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස ඇවිලෙනු ඇත. වැසි නොවස්නා පිණිස ද, පොළොවෙන් පලදාව ඇති නොවන පිණිස ද උන් වහන්සේ අහසේ වැහි කවුළු වසා දමන සේක. එවිට උන් වහන්සේ ඔබට දෙන සාර භූමියෙහි ඔබ විගස මියයනු ඇත.</verse>
				<verse number="18">“එබැවින් ඔබ හැම මාගේ මේ වචන ඔබේ හදවතෙහි ද සිතෙහි ද තැන්පත් කරගත යුතු ය. ඔබේ අත්වල ලකුණක් මෙන් ද ඔබගේ නළල මත පටි මෙන් ද ඒවා බැඳගත යුතු ය.</verse>
				<verse number="19">ඒවා ඔබේ දරුදැරියන්ට ඉගැන්විය යුතු ය. ඔබ ගෙදර සිටින විට ද, පාරේ යන එන විට ද, සැතපෙන විට හා අවදි වන විට ද ඒවා ගැන කතා කළ යුතු ය.</verse>
				<verse number="20">ඒවා ඔබේ ගෙදර උළුවහුවල ද දොරටුවේ ද සටහන් කළ යුතු ය.</verse>
				<verse number="21">එසේ කළොත්, සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දෙන්නට පොරොන්දු වූ දේශයෙහි ඔබේ ආයු කාලයත් ඔබේ දරුදැරියන්ගේ ආයු කාලයත් මිහි පිට ඉර හඳ පවතින තාක් දික් වන්නේ ය.</verse>
				<verse number="22">“මා ඔබට නියම කරන මේ සියලු අණපණත් ඔබ උනන්දුවෙන් ආරක්ෂා කොට, ඒවා පිළිපදිමින්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේමය දක්වා උන් වහන්සේගේ සියලු මාර්ගවල යමින්, උන් වහන්සේට ඇලුම් ව සිටින්නහු නම්,</verse>
				<verse number="23">උන් වහන්සේ ඔබට පෙරටුවෙන් මේ සියලු ජාතීන් පන්නාදමන සේක. ඔබ ද ඔබට වඩා ගණනින් විශාල, බලසම්පන්න ජාතීන්ට අයත් රටවල් අයිති කරගන්නහු ය.</verse>
				<verse number="24">ඔබ පස් පාගන හැම තැනක් ම ඔබට අයිති වනු ඇත. පාළුකරයේ සිට ලෙබනොන් දේශය දක්වා ද, යුප්‍රටීස් ගංගාවේ සිට මධ්‍යධරණි මුහුද දක්වා ද දේශය ඔබේ වන්නේ ය.</verse>
				<verse number="25">ඔබට විරුද්ධ ව කිසිවෙකුට නැඟිට සිටීමට හැකි නොවනු ඇත. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට වදාළ ලෙස ඔබ පස් පාගන සෑම රටක් පිට ම ඔබ ගැන භීතිය සහ සන්ත්‍රාසය එවනු ඇත.</verse>
				<verse number="26">“මෙන්න, මම අද දින ඔබට තෝරා ගැනීමට ආශීර්වාදයක් ද සාපයක් ද ඔබ ඉදිරියෙහි තබමි.</verse>
				<verse number="27">මම අද දින ඔබට නියම කරන ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපණත්වලට ඔබ කීකරු වන්නහු නම්, එය ආශීර්වාදයක් වන්නේ ය.</verse>
				<verse number="28">දෙවි සමිඳාණන් වහන්සේගේ අණපණත්වලට අකීකරු වී, මා අද දින නියම කරන මාර්ගයෙන් අන් අතකට හැරී, ඔබ නාඳුනන අන් දෙවිදේවතාවන් පසුපස යන්නහු නම්, එය සාපයක් වන්නේ ය.</verse>
				<verse number="29">ඔබ අයිති කරගන්නට යන දේශයට දෙවි සමිඳාණන් වහන්සේ ඔබ ගෙනා කල, ගෙරිසිම් කන්ද මත ආශීර්වාදය ද ඒබාල් කන්ද මත සාපය ද ප්‍රකාශ කළ යුතු ය.</verse>
				<verse number="30">මේ කඳු දෙක, ජොර්දාන් ගඟින් එතෙර, බටහිරට පිහිටි කානානිවරුන් වසන මිටියාවතෙහි ගිල්ගාල් නගරය අසල මොරේගේ ආලෝන අරඹ ළඟ පිහිටා තිබේ.</verse>
				<verse number="31">දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයට ඔබ ඇතුළු වී එය අයිති කරගන්නා පිණිස ඔබ ජොර්දාන් ගඟෙන් එතෙර වන්නහු ය. ඔබ ද එය අයිති කරගෙන එහි පදිංචි වන්නහු ය.</verse>
				<verse number="32">මා අද දින ඔබ ඉදිරියෙහි තබන සියලු නීති හා නියෝග ඔබ ආරක්ෂා කරමින් පිළිපැදිය යුතු ය.”</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">“ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අයිති කරගැනීමට දෙන දේශයෙහි දී දිවි ඇති තාක් ඔබ ආරක්ෂා කළ යුතු නීති හා නියෝග මේවා ය.</verse>
				<verse number="2">ඔබ යටත් කරගන්න ජාතීන් තමන්ගේ දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කළ උස් කඳු මත ද, කඳු හෙල් මත ද, සෑම අතුපතර ඇති ගසක් යට ද වූ සියලු වන්දනා ස්ථාන සහමුලින් ම වනසා</verse>
				<verse number="3">ඔවුන්ගේ පූජාසන කඩාදමා, රූපස්තම්භ බිඳදමා, අෂේරා කප් කණු ගින්නෙන් පිළිස්සිය යුතු ය. ඔවුන්ගේ දෙවිදේවතාවන්ගේ නෙළූ පිළිම ද සිඳදමා, එම ස්ථානවලින් ඔවුන්ගේ නාම මකාදැමිය යුතු ය.</verse>
				<verse number="4">“එහෙත් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබ එලෙස වැඳුම්පිදුම් කළ යුතු නොවේ.</verse>
				<verse number="5">ඔබේ ගෝත්‍ර සියල්ල අතරෙන්, තමන් වහන්සේගේ නාමය පිහිටුවනු සඳහා ද වාසස්ථානය වනු පිණිස ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගන්න ස්ථානය ඔබ සොයා යා යුතු ය.</verse>
				<verse number="6">එම ස්ථානයට ඔබේ දවන යාග පූජා ද විශේෂ පඬුරු ද දසයෙන් කොටස ද දෑතින් පුදන විශේෂ පූජා ද බාර ද ස්වේච්ඡා පූජා ද ගව පට්ටිවල හා එළු පට්ටිවල කුලුඳුල් සතුන් ද ඔබ ගෙනා යුතු ය.</verse>
				<verse number="7">එහි දී ඔබ ද ඔබේ ගෙවැසියන් ද දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ආහාර අනුභව කොට ඔබ හැම උන් වහන්සේගේ ආශීර්වාදයට පාත්‍ර වී ඔබ කළ සියල්ල ගැන ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.</verse>
				<verse number="8">“අද දක්වා අපේ සෑම කෙනෙකු ම නමස්කාර කර ඇත්තේ තම තමාට කැමැති අයුරින් ය. එහෙත්, මින්පසු එලෙස නොකළ යුතු ය.</verse>
				<verse number="9">මන්ද, ඔබ තව ම ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ දෙන්නට යන උරුමයටත්, වාසස්ථානයටත් නොපැමිණියහු ය.</verse>
				<verse number="10">ඔබ ජොර්දාන් ගඟෙන් එතෙර වී, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන දේශයෙහි පදිංචි වී, ඔබට එහි සුරැකි ව වසන සේ ඔබ වටකර සිටින සියලු සතුරන්ගෙන් රැකවරණය ඔබ ලබාගත් පසු</verse>
				<verse number="11">තමන් වහන්සේගේ නාමය එහි පිහිටුවනු පිණිස උන් වහන්සේ යම්කිසි ස්ථානයක් තෝරාගන්න සේක. ඔබේ දවන යාග පූජා ද විශේෂ පූජා ද, දසයෙන් කොටස ද දෑතින් පුදන විශේෂ පඬුරු ද සමිඳාණන් වහන්සේට කළ විශේෂ බාර ද යන සියල්ල ඔබ එතැනට ගෙනා යුතු ය.</verse>
				<verse number="12">එවිට ඔබේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ ද ඔබේ දරුදැරියන් ද ඔබේ දැසිදසුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ලෙවීවරුන් ද ප්‍රීති ප්‍රමෝද විය යුතු ය. ලෙවීවරුන්ට වනාහි ඔබ සමඟ උරුමයක් හෝ රටින් කොටසක් හෝ අයිති නොවනු ඇත.</verse>
				<verse number="13">ඔබ කැමැති කැමැති තැන්වල දවන යාග පූජා නොපිදීමට වගබලාගන්න.</verse>
				<verse number="14">සමිඳාණන් වහන්සේ ඔබේ ගෝත්‍ර අතරෙන් එක ගෝත්‍රයක් වසන පෙදෙසක යම් ස්ථානයක් තෝරාගන්න සේක් ද, එහි දී ඔබේ දවන යාග පූජා පිදිය යුතු ය. මා ඔබට අණ කරන සියල්ල එහි දී පමණක් කළ යුතු ය.</verse>
				<verse number="15">“එහෙත් ඔබේ වාසල් දොරටු ඇතුළත, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ආසිරි වශයෙන් ඔබට දෙන පරිදි, ඔබ කැමැති ලෙස සතුන් මරා ඔබට මස් අනුභව කළ හැකි ය. ඔබ මුව මස් සහ ගෝන මස් අනුභව කරන්නාක් මෙන් වත්පිළිවෙත් අනුව, පවිත්‍ර අයට මෙන් අපවිත්‍ර අයටත් ඒවා අනුභව කළ හැකි ය.</verse>
				<verse number="16">එහෙත්, ඔබ සතුන්ගේ ලේ කෑමට ගත යුතු නොවේ. බිම වතුර වත් කරන්නාක් මෙන් එය බිමට වත් කළ යුතු ය.</verse>
				<verse number="17">වාසල් දොරටු තුළ ධනධාන්‍යවලින් හෝ මිදියුසවලින් හෝ තෙල්වලින් හෝ දසයෙන් කොටස නොකෑ යුතු ය. තවද, එහි දී ගව පට්ටිවල වත්, එළු බැටළු පට්ටිවල වත් කුලුඳුල් සතුන් හෝ ඔබ පොරොන්දු වූ බාරවලින් යමක් හෝ ස්වේච්ඡා පූජා හෝ දෑතින් පුදන විශේෂ පඬුරු හෝ නොකෑ යුතු ය.</verse>
				<verse number="18">ඔබ ද ඔබේ දරුදැරියන් ද දැසිදසුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ලෙවීවරුන් ද ඒවා වැළඳිය යුත්තේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරා, නියම කරන ස්ථානයෙහි උන් වහන්සේ ඉදිරියෙහි ය. තවද, ඔබ අතින් පුදන සියල්ල ගැන ද උන් වහන්සේ ඉදිරියෙහි ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.</verse>
				<verse number="19">ඔබේ දේශයෙහි ඔබට දිවි ඇති තාක්, ලෙවීවරුන් අත් නොහැරීමට වගබලාගන්න.</verse>
				<verse number="20">“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි, උන් වහන්සේ ඔබේ දේශ සීමා විශාල කළ කල්හි, ඔබට මස් කෑමට දැඩි ආශාවක් ඇති වුවහොත්, ඔබ කැමැති පරිදි ඔබට මස් කෑ හැකි ය.</verse>
				<verse number="21">දෙවි සමිඳාණන් වහන්සේ තම නාමය පිහිටුවීම සඳහා තෝරාගත් ස්ථානය දුර නම්, මා ඔබට අණ කළ පරිදි උන් වහන්සේ දුන් ගව පට්ටිවලින් සහ එළු බැටළු පට්ටිවලින් ඔබ කැමැති පරිදි සතුන් මරා, වාසල් දොරටු ඇතුළත ඔබට අනුභව කළ හැකි ය.</verse>
				<verse number="22">මුව මස් සහ ගෝන මස් කන්නාක් මෙන් වත්පිළිවෙත් අනුව, පවිත්‍ර වූ හෝ අපවිත්‍ර වූ හෝ ඕනෑ ම කෙනෙකුට ඒ මස් කෑ හැකි ය.</verse>
				<verse number="23">එහෙත් ලේ කෑමෙන් නම් පරෙස්සම් විය යුතු ය. මන්ද, ලේ ප්‍රාණය වන බැවින්, මස් සමඟ ලේ අනුභව නොකළ යුතු ය.</verse>
				<verse number="24">එය අනුභව නොකර වතුර මෙන් බිම වත් කළ යුතු ය.</verse>
				<verse number="25">ඔබ ලේ කෑමට නොගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යුතු දේ කරන බැවින් ඔබටත්, ඔබෙන් පසු ඔබේ දරු පරපුරටත් සෙත සැලසෙනු ඇත.</verse>
				<verse number="26">ඔබ සතු ශුද්ධ දේවල් සහ බාර පමණක් රැගෙන සමිඳාණන් වහන්සේ තෝරා නියම කරන ස්ථානයට යා යුතු ය.</verse>
				<verse number="27">තවද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය මත දවන යාග පූජා ද එනම්, දේව පූජාසනය මත ලේ වගුරුවා මාංස අනුභව කළ යුතු අනිකුත් පූජා ද ඔප්පු කළ යුතු ය. ඔබේ යාග පූජාවල ලේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිට වත් කළ යුතු ය. මාංසය ඔබට අනුභව කරන්නට පුළුවන.</verse>
				<verse number="28">මා ඔබට අණ කරන මේ සියල්ලට සවන් දී ඒවා පිළිපදින්න. මෙලෙස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ දැහැමි දේ හා කළ යුතු දේ කරන බැවින් ඔබටත්, ඔබෙන් පසු ඔබේ දරු පරපුරටත් සඳහට ම සෙත සැලසෙනු ඇත.”</verse>
				<verse number="29">“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ අයිති කරගන්නට යන දේශයෙහි ජාතීන් වනසාදැමූ කල්හි ඔබ ඔවුන් පන්නාදමා, ඔවුන්ගේ දේශයෙහි පදිංචි වූ කල</verse>
				<verse number="30">ඔබට කලින් විනාශ වී ගිය ඔවුන් පසුපස යෑමට නොරැවටෙන ලෙස හොඳින් වගබලාගන්න. තවද, මේ ජාතීන් ඔවුන්ගේ දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කෙළේ කෙසේ ද ‘මමත් එසේ කරමි’ කියා ඔවුන්ගේ දෙවිදේවතාවන් ගැන විස්තර නොසොයන්න. ඔබ එසේ කළොත්, ඔබත් ඔවුන් මෙන් වනු ඇත.</verse>
				<verse number="31">ඔබ නම්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට එලෙස නොකළ යුතු ය. සමිඳාණන් වහන්සේ වෛර කරන සෑම පිළිකුල් දෙයක් ම ඔවුන් තමන්ගේ දෙවිදේවතාවන් සම්බන්ධයෙන් කර ඇත. ඔව්හු තමන්ගේ දෙවිදේවතාවන් සඳහා ඔවුන්ගේ දරුදැරියන් පවා ගින්නේ පිළිස්සූ හ.</verse>
				<verse number="32">“මා අණ කරන සෑම දෙයක් ම ඔබ ආරක්ෂා කොට පිළිපදින්න. ඒවාට අමතර ව යමක් එකතු නොකළ යුතු ය. ඒවායින් යමක් අඩු නොකළ යුතු ය.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">“ඔබ අතර දිවැසිවරයෙකු හෝ ස්වප්න තෝරන්නෙකු හෝ පහළ වී, ඔබට හාස්කමක් හෝ අරුමපුදුම දෙයක් හෝ පාන්නට යෝජනා කොට,</verse>
				<verse number="2">ඔහු කී අයුරින් ඒ හාස්කම් හෝ අරුමපුදුම දේ හෝ සිදු වී ඔබ නොහඳුනන අන් දෙවිදේවතාවන් පසුපස ගොස්, ‘අපි ඔවුන්ට වැඳුම්පිදුම් කරමු’යි කීවොත්,</verse>
				<verse number="3">එවැනි දිවැසිවරයෙකුගේ හෝ ස්වප්න තෝරන්නෙකුගේ හෝ කීම්වලට ඔබ සවන් නොදිය යුතු ය. මෙවැනි දේවලින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබේ මුළු හෘදයෙන් සහ ඔබේ මුළු සිතින් ප්‍රේම කරන්නහු දැ යි උන් වහන්සේ ඔබ පරීක්ෂා කරන සේක.</verse>
				<verse number="4">ඔබ හැම, දෙවි සමිඳාණන් වහන්සේ අනුව ගොස්, ගරුබිය දක්වා, උන් වහන්සේගේ ආඥා ආරක්ෂා කොට, හඬට කීකරු වී උන් වහන්සේට වැඳුම්පිදුම් කොට, ඇළුම් ව සිටිය යුතු ය.</verse>
				<verse number="5">ඒ දිවැසිවරයා හෝ ස්වප්න තෝරන්නා හෝ මරණයට පත් කළ යුතු ය. මන්ද, මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා, වහල්කමේ නිවාසයෙන් ඔබ මුදාගත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් ඔබ ඈත් කිරීමට ඔහු වැරවෑයම් කළ බැවිනි. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ මාර්ගයෙන් ඔබ ඉවත් කිරීමට ඔහු වෑයම් කළ බැවින් ඔබ අතරෙන් එවැනි නපුරක් පහකොට දැමිය යුතු ය.</verse>
				<verse number="6">“එක මවකගෙන් උපන් ඔබේ සොහොයුරා හෝ ඔබේ පුතා හෝ දුව හෝ ඔබ ප්‍රේම කරන ඔබේ බිරිඳ හෝ ඔබට පණ මෙන් සිටින ඔබේ මිතුරා හෝ රහසින් ඔබ පොළඹවමින් ඔබ වත් ඔබේ පියවරුන් වත් නොදත්, ඔබ අවට ඉතා කිට්ටුවෙන් හෝ බොහෝ දුරින් හෝ ලෝකයේ එක් කොණක සිට අනික් කොණ දක්වා හෝ සිටි ජනතාවන්ගේ ‘දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කිරීමට යමු’යි කීවොත්,</verse>
				<verse number="7">***</verse>
				<verse number="8">ඔබ එවැන්නෙකුට සවන් දී, එකඟ නොවිය යුතු ය. ඔහුට කිසි අනුකම්පාවක් නොදක්වා, ඔහු ඉතුරු නොකර, ඔහුගේ වරද නොසඟවා,</verse>
				<verse number="9">මරාදැමිය යුතු ම ය. ඔහු මරාදමනු පිණිස පළමුවෙන් ඔබ ද ඉන්පසු සෙනඟ ද තම තමන්ගේ අත්වලින් ගල් ගැසිය යුතු ය.</verse>
				<verse number="10">වහල්කමේ නිවාසය වන මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් ඔබ ඉවත් කිරීමට එවැන්නෙකු වෑයම් කළ බැවින් ඔහුට ගල් ගසා මරාදැමිය යුතු ය.</verse>
				<verse number="11">මුළු ඉශ්රායෙල් ජනයා මේ දේ ගැන ඇසූ කල, ඔවුන් බිය වී ඔබ අතර මෙවැනි දුෂ්ටකමක් මින්පසු නොකරනු ඇත.</verse>
				<verse number="12">“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පදිංචි වීමට දුන් යම්කිසි නගරයක</verse>
				<verse number="13">ඔබ අතර වසන, අධම මිනිසුන් කීප දෙනෙක් පිටත් ව ගොස් ඒ නගරවාසීන් අමතා, ‘ඔබ නොදත් දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කිරීමට යමු’යි කියා ඔවුන් නොමඟ හැරිය බව ඔබට අසන්නට ලැබුණොත්,</verse>
				<verse number="14">ඔබ ඒ ගැන විමසා සොයා බලා, හොඳින් තතු දැනගෙන, මෙබඳු පිළිකුල් දෙයක් ඔබ අතර ඇත්තට ම කිසි සැකයක් නැතුව ම සිදු වී යයි ඒත්තු ගියහොත්,</verse>
				<verse number="15">ඒ නගර වැසි සියල්ලන්ට ම කඩුවෙන් පහර දී සහමුලින් ම වනසාලිය යුතු ය. තවද, එහි ඇති සියල්ලන්ට ද ගවමහිෂයන්ට ද කඩුවෙන් පහර දී සහමුලින් වනසාදැමිය යුතු ය.</verse>
				<verse number="16">ඉන්පසු එහි ධන සම්පත වීදිය මැදට රැස්කොට, ඒ නගරය ද ඒ ධන සම්පත් සියල්ල ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ උදෙසා ගින්නෙන් පුළුස්සාදැමිය යුතු ය. ඒ නුවර නැවත ඉදි නොකළ යුතු අතර එය නටබුන් ගොඩක් ලෙස ම, සදහට ම තිබෙන්නට හැරිය යුතු ය.</verse>
				<verse number="17">විනාශයට කැප කළ දෙයින් කිසිවක් ඔබ අත ඉතිරි කර නොගත යුතු ය. එවිට සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුරා පොරොන්දු වූ ලෙස සිය දැඩි කෝපය සන්සිඳුවාගෙන ඔබ වෙත දයානුකම්පාව දක්වා උන් වහන්සේ ඔබ ගණනින් වර්ධනය කරන සේක.</verse>
				<verse number="18">එසේ කරන්නේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට සවන් දී, මා ඔබට අද නියම කරන උන් වහන්සේගේ ආඥා සියල්ල ආරක්ෂා කොට, උන් වහන්සේ අබිමුව දැහැමි දේ කළහොත් පමණක් ය.”</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">“ඔබ දෙවි සමිඳාණන් වහන්සේගේ දරුවෝ ය. මළවුන් නිසා ඔබ ශරීරය කපා නොගත යුතු ය. ඔබේ නළලට ඉහළින් කෙස් රොද කපා නොගත යුතු ය.</verse>
				<verse number="2">ඔබ දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ සෙනඟකි. මිහි පිට සියලු ජාතීන් අතරෙන් සමිඳාණන් වහන්සේ සතු විශේෂ සෙනඟක් වන පිණිස උන් වහන්සේ ඔබ තෝරාගත් සේක.”</verse>
				<verse number="3">“ඔබ කිසි පිළිකුල් දෙයක් නොකෑ යුතු ය.</verse>
				<verse number="4">ඔබට කන්නට අවසර ඇති සත්තු නම් ගවයා, බැටළුවා, එළුවා,</verse>
				<verse number="5">ගෝනා, තිත්මුවා, වැලිමුවා, වල් එළුවා, ඕලුමුවා, කුරංගයා සහ වාතමෘගයා යන මොවුහු ය.</verse>
				<verse number="6">සතුන් අතර කුරය බෙදී වෙන් ව තිබෙන වමාරා කන සෑම සතෙකු ම කෑමට ඔබට අවසර ඇත.</verse>
				<verse number="7">එහෙත්, වමාරා කන සතුන් අතරෙන් හෝ කුර බෙදී වෙන් වී ඇති සතුන් අතරෙන් හෝ කෑමට අවසර නැති සත්තු නම් ඔටුවා, හාවා සහ බෙන් හාවා ය. මොවුන් වමාරා කන නමුත් උන්ගේ කුර බෙදී නැත. එබැවින් මොවුන් අපවිත්‍ර සතුන් මෙන් සැලකිය යුතු ය.</verse>
				<verse number="8">ඌරා, කුරය බෙදී ඇති සතෙකු නමුත් ඌ වමාරා නොකන බැවින් අපවිත්‍ර සතෙකු මෙන් සැලකිය යුතු ය. උන්ගේ මස් නොකෑ යුතු අතර, උන්ගේ මළකුණු ද ස්පර්ශ නොකළ යුතු ය.</verse>
				<verse number="9">“සියලු ජලජ සතුන් අතරෙන් වරල් සහ කොරපොතු ඇති සතුන් කන්නට පුළුවන.</verse>
				<verse number="10">වරල් සහ කොරපොතු නැති සතුන් නොකෑ යුතු ය. ඔවුන් අපවිත්‍ර සේ සැලකිය යුතු ය.</verse>
				<verse number="11">“සියලු පවිත්‍ර පක්ෂීන් ඔබට කන්නට අවසර ඇත.</verse>
				<verse number="12">කෑමට අවසර නැති පක්ෂීහු නම් රාජාලියා, මහ ගිජුලිහිණියා,</verse>
				<verse number="13">ගුරුළා, කුරුළුගොයා, ඒ ඒ වර්ගයේ උකුස්සෝ</verse>
				<verse number="14">ඒ ඒ වර්ගයේ සියලු කපුටෝ</verse>
				<verse number="15">පැස්බරා, මුහුදු ලිහිණියා,</verse>
				<verse number="16">බස්සා, බකමූණා, උලමා,</verse>
				<verse number="17">දිය කාවා,</verse>
				<verse number="18">ඒ ඒ වර්ගයේ කොක්කු, හුපුවා සහ වවුලා යන මොවුහු ය.</verse>
				<verse number="19">“පියාඹන කුඩා සත්තු අපවිත්‍ර ය. උන් කෑමට අවසර නැත.</verse>
				<verse number="20">එහෙත් සියලු ම පවිත්‍ර පක්ෂීන් කන්නට අවසර ඇත.</verse>
				<verse number="21">“ඉබේ ම මැරුණ සතෙකුගේ මස් කිසිවෙකු නොකෑ යුතු ය. ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ආගන්තුකයෙකුට ඒ සතා දිය යුතු ය. නැත්නම් විදේශිකයෙකුට ඌ විකිණිය යුතු ය. ඔබ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට කැප කරන ලද සෙනඟකි. “එළු පැටියෙකු උගේ මවගේ කිරෙන් නොතැම්බිය යුතු ය.”</verse>
				<verse number="22">“අවුරුදුපතා ඔබේ කෙතෙන් ලැබෙන පලදාවෙන් දසයෙන් කොටස ඔබ දිය යුතු ය.</verse>
				<verse number="23">ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තම නාමය පිහිටුවනු සඳහා තෝරාගත් ස්ථානයේ දී උන් වහන්සේ ඉදිරියෙහි ඔබේ ධනධාන්‍යයෙන්, මිදියුසින් සහ තෙල්වලින් දසයෙන් කොටස ද, ගව පට්ටිවල සහ එළු බැටළු පට්ටිවල කුලුඳුල් සතුන් ද අනුභව කළ යුතු ය. මෙසේ කිරීමෙන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමට ඔබ ඉගෙනගනු ඇත.</verse>
				<verse number="24">ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කළ පසු සිය නාමය පිහිටුවනු සඳහා උන් වහන්සේ තෝරාගත් ස්ථානය ඔබෙන් බොහෝ දුර නම්, දසයෙන් කොටස ඔබට උසුලාගෙන යෑමට නොහැකි වන තරමට දුර වැඩි නම්,</verse>
				<verse number="25">ඔබ එය විකුණා මුදල් කොට, ඒ මුදල අතේ රැගෙන උන් වහන්සේ තෝරාගත් ස්ථානයට යා යුතු ය.</verse>
				<verse number="26">ඉන්පසු ඒ මුදල වැය කොට ඔබ කැමැති පරිදි ඕනෑ ම දෙයක් එනම්, ගවයන් හෝ බැටළුවන් හෝ මිදියුස හෝ මත්පැන් හෝ ඔබ කැමැති දෙයක් ගෙන දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ ද ඔබේ ගෙවැසියන් ද ඒවා අනුභව කර ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.</verse>
				<verse number="27">තවද, ඔබ ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ලෙවීවරුන් අමතක නොකළ යුතු ය. ඔබට මෙන් ඔවුන්ට රටින් කොටසක් හෝ උරුමයක් හෝ නැත.</verse>
				<verse number="28">“සෑම තුන් අවුරුද්දක් අවසානයේ දී ඔබ ඒ තෙ වන අවුරුද්දේ ලැබූ අස්වැන්නෙන් දසයෙන් කොටස ගෙනැවිත් වාසල් දොරටු ඇතුළත තැබිය යුතු ය.</verse>
				<verse number="29">එවිට වාසල් දොරටු ඇතුළත සිටින ඔබට මෙන් රටින් කොටසක් හෝ උරුමයක් හෝ නැති ලෙවීවරුන් ද ආගන්තුකයන් ද අනාථ වූවන් ද වැන්දඹුවන් ද විත් ඒවා අනුභව කොට තෘප්තිමත් වනු ඇත. මෙසේ කළොත්, ඔබේ සියලු වැඩ කටයුතුවල දී ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක.”</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">“සෑම සත් අවුරුද්දක් අවසානයේ දී ඔබ ණය බරින් නිදහසක් දිය යුතු ය.</verse>
				<verse number="2">ණයෙන් නිදහස දීම මෙලෙස විය යුතු ය. තම අසල්වැසියාට ණයට දෙන සෑම කෙනෙකු ම, ඒ තැනැත්තාට ණයෙන් නිදහස දිය යුතු වේ. තම අසල්වැසියාගෙන් හෝ මොහුගේ සොහොයුරාගෙන් හෝ ඔහු එය බලෙන් නොගත යුතු ය. මන්ද, මෙය වනාහි සමිඳාණන් වහන්සේ දානය කරන නිදහසකි.</verse>
				<verse number="3">විදේශිකයෙකුගෙන් නම්, එය එකතු කරගත හැකි ය. එහෙත්, ඔබේ ම සහෝදරයෙකුට නම්, ණයෙන් නිදහස දිය යුතු ය.</verse>
				<verse number="4">“කෙසේ වුවත් ඔබ අතර දිළිඳුන් නොසිටිය යුතු ය. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට හිමි කරදෙන දේශයෙහි උන් වහන්සේ ඔබ හට ඉමහත් ලෙස ආශීර්වාද කරන සේක.</verse>
				<verse number="5">උන් වහන්සේ එසේ කරන්නේ මා ඔබට අද දින නියම කරන උන් වහන්සේගේ හඬට සාවධානයෙන් සවන් දී, මේ සියලු අණපණත් ඔබ ආරක්ෂා කොට ඒවා පිළිපැද්දොත් පමණක් ය.</verse>
				<verse number="6">දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ ලෙස ඔබට ආශීර්වාද කරන නිසා ඔබ බොහෝ ජාතීන්ට මුදල් ණයට දෙන්නහු ය. එහෙත්, ඔබ නම් මුදල් ණයට ඉල්ලා නොගත යුතු ය. ඔබ බොහෝ ජාතීන් පාලනය කරන්නහු ය. එහෙත්, ඔව්හු ඔබ පාලනය නොකරන්නෝ ය.</verse>
				<verse number="7">“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයෙහි, ඔබේ වාසල් දොරටු ඇතුළත ඔබේ සහෝදරයන් අතර යම් දිළින්දෙක් සිටී නම්, ඔබේ සිත දැඩි කර නොගෙන, ඒ දිළින්දාට උදව් උපකාර කිරීම ප්‍රතික්ෂේප නොකළ යුතු ය.</verse>
				<verse number="8">ඔහු කෙරෙහි ත්‍යාගශීලී ව ඔහුගේ අගහිඟකමට සෑහෙන පමණ අවශ්‍ය දේ සැපයිය යුතු ය.</verse>
				<verse number="9">‘ණයෙන් මිදෙන අවුරුද්ද වන හත් වන අවුරුද්ද ආසන්න ය’යි යන දුෂ්ට හිතකට ඉඩ නොදෙන්න. ඔබේ දිළිඳු සහෝදරයා දෙස නපුරු ඇසකින් බලා, ඔහුට කිසිත් නුදුන් පසු ඔහු ඔබට විරුද්ධ ව සමිඳාණන් වහන්සේට මොරගැසුවොත්, එය ඔබට පාපයක් වනු ඇත.</verse>
				<verse number="10">සිතේ කණගාටුවක් නැතිව, දෙන දේ ඔබ ඔහුට දිය යුතු ය; ඔබ එලෙස කරන්නහු නම්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ සියලු වැඩ කටයුතුවලදීත්, ඔබ අත තබන සියල්ලෙහිදීත් ඔබට ආශීර්වාද කරන සේක.</verse>
				<verse number="11">දිළින්දෝ කවරදාත් දේශයෙහි සිටින්නෝ ය. එබැවින් රටෙහි සිටින දිළින්දා සහ අගහිඟකම් ඇති ඔබේ සහෝදරයන් කෙරෙහි ත්‍යාගශීලී වන ලෙස මම ඔබට අණ කරමි.”</verse>
				<verse number="12">“ඔබේ සහෝදර හෙබ්‍රෙව් මිනිසෙකු හෝ හෙබ්‍රෙව් ස්ත්‍රියක හෝ ඔබට විකුණනු ලැබ, එවැන්නෙකු සාවුරුද්දක් ඔබට සේවය කළ පසු හත් වන අවුරුද්දේ දී ඔහුට නිදහස ලබා යන්නට ඉඩ දිය යුතු ය.</verse>
				<verse number="13">එවැන්නෙකු නිදහස් කර හරින විට, හිස් අතින් යන්නට ඉඩ නොදෙන්න.</verse>
				<verse number="14">ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ශුභසිද්ධිය සලසා දුන් පරිදි ඔබේ එළු බැටළුවන්ගෙන් ද කමතින් ද මිදි පැසෙන් ද නොමසුරු ලෙස එවැන්නෙකුට දිය යුතු ය.</verse>
				<verse number="15">මිසර දේශයේ ඔබ වහලුන් ව සිටි බව ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ ගැළෙවු බව ද සිහි කළ යුතු ය. මෙවැන්නක් අද දින මා ඔබට අණ කරනුයේ එබැවින් ය.</verse>
				<verse number="16">“එහෙත් එවැන්නෙකු ඔබ සමඟ යෙහෙන් සිටි බැවින්, ඔබට කතා කොට, ‘මා ඔබටත්, ඔබේ ගෘහයටත් කැමැති බැවින් ඔබෙන් වෙන් ව යාමට කැමැති නැත’ කියා කීවොත්</verse>
				<verse number="17">විදින කටුවක් ගෙන, ඔහුගේ කන දොරට තද කර එය විදිය යුතු ය. ඉන්පසු ඔහු සදහට ම ඔබේ සේවකයා වනු ඇත. ඔබේ දාසියට ද එලෙස කළ යුතු ය.</verse>
				<verse number="18">දාසයෙකු නිදහස් කර යන්නට හරින විට ඔහු කෙරෙහි අමනාපයක් නොදක්වන්න. මන්ද, ඔහු සාවුරුද්දක් ඔබට සේවය කිරීම නිසා ඔහුගේ අගය කුලීකරුවෙකුගේ අගය මෙන් දෙගුණයක් වන බැවිනි. මෙලෙස ඔබ ඉටු කළොත් ඔබේ වැඩ කටයුතු සියල්ලෙහි දී දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක.”</verse>
				<verse number="19">“ගවයන්ගේ සහ එළු බැටළුවන්ගේ කුලුඳුල් පිරිමි සතුන් සියල්ලන් ම ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට කැප කළ යුතු ය. කුලුඳුල් ගොන් වස්සෙකුගෙන් වැඩ නොගත යුතු ය, කුලුඳුල් බැටළුවන්ගේ ලොම් නොකැපිය යුතු ය.</verse>
				<verse number="20">ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගන්න ස්ථානයේ දී අවුරුද්දක් පාසා ඔබත්, ඔබේ ගෙවැසියනුත් උන් වහන්සේ අබිමුව උගේ මස් කෑ යුතු ය.</verse>
				<verse number="21">සතාගේ කැළලක් තිබේ නම්, ඌ කොර නම්, අන්ධ නම්, අන්කිසි නරක කැළලක් තිබේ නම්, ඒ සතා ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පූජා නොකළ යුතු ය.</verse>
				<verse number="22">මුව මස් සහ ගෝන මස් කන්නාක් මෙන් ඔබේ වාසල් දොරටු ඇතුළත දී පවිත්‍ර වූ ද අපවිත්‍ර වූ ද සෑම කෙනෙකුට ම උගේ මස් කෑ හැකි ය.</verse>
				<verse number="23">එහෙත් උගේ ලේ නොගත යුතු ය. වතුර වත් කරන්නාක් මෙන් උගේ ලේ බිමට වත් කළ යුතු ය.”</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">“ආබිබ් මාසය අනුස්මරණය කර ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පාස්කු මංගල්‍යය පවත්වන්න. මන්ද, ආබිබ් මාසයේ දී එක් රාත්‍රියක උන් වහන්සේ මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා බැවිනි.</verse>
				<verse number="2">එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තම නාමය පිහිටුවන්නට තෝරාගන්න ස්ථානයේ දී එළු බැටළුවන්ගෙන් සහ ගවයන්ගෙන් පාස්කු යාගය පිදිය යුතු ය.</verse>
				<verse number="3">ඔබ එය සමඟ මුහුන් මිශ්‍ර රොටි නොකෑ යුතු ය. දින හතක් ම ඔබ දුක්ගැහැට සිහිපත් වන රොටි එනම්, නුමුහුන් රොටි කෑ යුතු ය. මන්ද, ඔබ මිසර දේශයෙන් පිටතට ලහි ලහියේ පැමිණි දින කෑවේ නුමුහුන් රොටි ය. ඔබ මිසර දේශයෙන් පිටතට පැමිණි දින ඔබට දිවි ඇති තාක් සිහිපත් වනු පිණිස එලෙස කළ යුතු ය.</verse>
				<verse number="4">දින හතක් ඔබේ මුළු දේශය තුළ ම කිසිවෙකු ළඟ මුහුන් රොටි තබා නොගත යුතු ය. පළමු වන දින හවස ඔබ පූජා කළ මස්වලින් කිසිවක් උදය දක්වා තබා නොගත යුතු ය.</verse>
				<verse number="5">“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන හැම නගරයක දී ම ඔබ පාස්කු යාගය පූජා නොකළ යුතු ය.</verse>
				<verse number="6">මිසර දේශයෙන් ඔබ නික්ම ආ කාලයේ දී, සවස ඉර බැස යන විට ඔබ පාස්කු යාගය පිදිය යුත්තේ, උන් වහන්සේ සිය නාමය පිහිටුවනු සඳහා තෝරාගත් ස්ථානයෙහි ය.</verse>
				<verse number="7">ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගත් ස්ථානයේ දී ඔබ එය පුළුස්සා අනුභව කර, උදය කාලයේ ආපසු හැරී ඔබේ කූඩාරම්වලට යා යුතු ය.</verse>
				<verse number="8">දින හයක් ඔබ නුමුහුන් රොටි කෑ යුතු ය. හත් වන දින දෙවි සමිඳාණන් වහන්සේගේ මහිමය පිණිස ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වා එදින වැඩ නොකළ යුතු ය.”</verse>
				<verse number="9">“සති හතක් ගණන් කරගන්න. ධාන්‍ය නෙළීමට දෑකැත්ත යොදන දින පටන් ඒ සති හත ගණන් කරන්න පටන්ගන්න.</verse>
				<verse number="10">ඉන්පසු දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කර තිබෙන සැටියට, ඔබ උන් වහන්සේට ස්වේච්ඡා පූජා පඬුරක් පුදා උන් වහන්සේගේ ගෞරවය පිණිස අස්වැන්න මංගල්‍යය පැවැත්විය යුතු ය.</verse>
				<verse number="11">මෙසේ කළ පසු දෙවි සමිඳාණන් වහන්සේ තම නාමය පිහිටුවීමට තෝරාගත් ස්ථානයේ දී උන් වහන්සේ ඉදිරියෙහි, ඔබ ද ඔබේ පුතා සහ දුව ද ඔබේ දැසිදසුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ලෙවීවරුන් ද ඔබ සමඟ සිටින විදේශීන් ද අනාථයන් සහ වැන්දඹුවන් ද ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.</verse>
				<verse number="12">මිසරයේ ඔබ වහලෙකු මෙන් සිටි බව සිහි කොට, මේ නීති නොකඩා පිළිපැදිය යුතු ය.”</verse>
				<verse number="13">“ඔබේ ධනධාන්‍ය සහ මිදි ඔබ එකතු කළායින් පසු, දින හතක් ඔබ කූඩාරම් මංගල්‍යය පැවැත්විය යුතු ය.</verse>
				<verse number="14">මෙසේ පවත්වන ඒ මංගල්‍යයේ දී ඔබ ද ඔබේ පුතා ද දුව ද ඔබේ දැසිදසුන් ද ලෙවීවරුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින විදේශීන් ද අනාථයන් සහ වැන්දඹුවන් ද ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.</verse>
				<verse number="15">ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගත් ස්ථානයේ දී උන් වහන්සේගේ ගෞරවය පිණිස ඔබ ඒ මංගල්‍යය දින හතක් පැවැත්විය යුතු ය. සරු අස්වැන්නක් දීමෙන් ද ඔබේ සියලු වැඩ කටයුතු සඵල කිරීමෙන් ද උන් වහන්සේ ඔබට ආශීර්වාද කළ බැවින් ඔබ ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.</verse>
				<verse number="16">“දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගත් ස්ථානයේ දී අවුරුද්දකට තුන්වරක් ඔබේ සියලු පිරිමින් උන් වහන්සේ ඉදිරියට විත් පෙනී සිටිය යුතු ය. ඒ තුන් වාරය නම් නුමුහුන් රොටි මංගල්‍යය, අස්වැන්න මංගල්‍යය සහ කූඩාරම් මංගල්‍යය වේ. තවද උන් වහන්සේ ඉදිරියෙහි හිස් අතින් පෙනී නොසිටිය යුතු ය.</verse>
				<verse number="17">දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කර තිබෙන පරිදි තම තමාගේ පුළුවන්කමේ හැටියට පඬුරක් පිදිය යුතු ය.”</verse>
				<verse number="18">“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන සෑම නගරයක් තුළ ම, ගෝත්‍රයක් ගෝත්‍රයක් පාසා විනිශ්චයකාරයන් සහ නිලධාරීන් පත් කළ යුතු ය. ඔවුන් ද සාධාරණ ලෙස සෙනඟ විනිශ්චය කළ යුතු ය.</verse>
				<verse number="19">ඔවුන් අසාධාරණ ලෙස විනිශ්චය නොකළ යුතු ය. ඔවුන් මිනිසුන්ගේ තරාතිරම් නොබැලිය යුතු ය. අල්ලස් නොගත යුතු ය. අල්ලස් ගැනීමෙන් පැණවතුන්ගේ නෙත් අඳුරු වේ; දමිටුන්ගේ වචන පවා නොපිටට පෙරළේ.</verse>
				<verse number="20">යුක්තිය, යුක්තිය පමණක් ම, අනුගමනය කළ යුතු ය. මෙසේ කළොත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශය උරුම කරගෙන ඔබට එහි ජීවත් විය හැකි ය.</verse>
				<verse number="21">“දෙවි සමිඳාණන් වහන්සේට පූජාසනයක් ඉදි කරන කල, ඒ අසල ලීයෙන් කළ රූපස්තම්භයක් සිටුවිය යුතු නොවේ.</verse>
				<verse number="22">අෂේරා කප් කණුවක් ද එහි ඉදි නොකළ යුතු ය. මෙසේ කිරීම දෙවි සමිඳාණන් වහන්සේට පිළිකුලකි.</verse>
			</chapter>
			<chapter number="17">
				<verse number="1">“කැළලක් හෝ විරූපී ලකුණක් හෝ ඇති ගොනෙකු හෝ බැටළුවෙකු හෝ දෙවි සමිඳාණන් වහන්සේට පූජා නොකළ යුතු ය. එවැන්නක් උන් වහන්සේට පිළිකුලකි.</verse>
				<verse number="2">දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන නගරයක ඔබ අතරෙන් යම්කිසි පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හෝ උන් වහන්සේගේ ගිවිසුම කඩකොට, උන් වහන්සේ අබිමුව දුෂ්ටකම් කරමින්,</verse>
				<verse number="3">උන් වහන්සේ තහනම් කළ දෙවිදේවතාවන්ට හෝ ඉරට හෝ හඳට හෝ අන්කිසි ආකාශ වස්තුවකට හෝ වැඳුම්පිදුම් හා නමස්කාර කරන්නට පුළුවන.</verse>
				<verse number="4">එවැන්නක් දැනගන්නට ලැබුණොත්, ඔබ ඒ ගැන හොඳාකාර විභාග කළ යුතු ය. ඉශ්රායෙල් ජනයා අතර එවැනි පිළිකුලක් සිදුවූ බව නිසැක ව සත්‍ය ලෙස පෙනී ගියොත්</verse>
				<verse number="5">ඒ දුෂ්ටකම කළ පුරුෂයා හෝ ස්ත්‍රිය හෝ වාසල් දොරකඩට රැගෙන විත්, ඔහුට හෝ ඈට හෝ ගල් ගසා මරාදැමිය යුතු ය.</verse>
				<verse number="6">සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන් දෙනෙකුගේ හෝ කීම පිට මරණයට සුදුසු තැනැත්තා මරනු ලැබිය යුතු ය. එහෙත් එක සාක්ෂිකරුවෙකුගේ කීම පිට එවැන්නෙකු මරනු නොලැබිය යුතු ය.</verse>
				<verse number="7">ඔහු මරනු සඳහා පළමුවෙන් සාක්ෂිකරුවන් ද ඉන්පසු සියලු සෙනඟ ද තම තමන්ගේ අත්වලින් ඔහුට ගල් ගැසිය යුතු ය. මේ අයුරින් ඔබ ඒ දුෂ්ටකම ඔබ අතරෙන් පහකළ යුතු ය.</verse>
				<verse number="8">“ඔබේ නගරය තුළ විවාදයට භාජනය වූ නොයෙක් විදියේ මිනීමැරීම් ද පැමිණිලි ද පහර දීම් ද පිළිබඳ ව තීරණයක් දීම ඉතා දුෂ්කර නම්, දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගත් ස්ථානයට ඔබ ගොස්</verse>
				<verse number="9">ලෙවී පූජකයන් සහ එකල පත් ව සිටින විනිසකරු වෙත පැමිණ එය විසඳාගත යුතු ය. ඔව්හු ඔබට නඩු තීන්දුව දෙන්නෝ ය.</verse>
				<verse number="10">සමිඳාණන් වහන්සේ තෝරාගත් ස්ථානයෙහි ඔවුන් දෙන තීන්දුව අනුව ඔබ ක්‍රියා කළ යුතු ය. ඔවුන් ඔබට දන්වන පරිදි ඔබ සියල්ල පිළිපැදිය යුතු ය.</verse>
				<verse number="11">ඔවුන් ඔබට දෙන උපදෙස් සහ ඔබට දන්වන නඩු තීන්දුව අනුව ක්‍රියා කළ යුතු ය. ඔවුන් ඔබට දෙන තීන්දුව අකුරට ම පිළිපැදිය යුතු ය.</verse>
				<verse number="12">දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සේවා කරන පූජක තැනට වත් විනිසකරුට වත් කීකරු නොවී හිතුවක්කාර ලෙස හැසිරෙන්නා මරනු ලැබිය යුතු ය. මේ අයුරින් ඉශ්රායෙල් ජනයා අතරෙන් දුෂ්ටකම පහකළ යුතු වේ.</verse>
				<verse number="13">එවිට සියලු සෙනඟ මේ ගැන අසා, බිය වී තවත් හිතුවක්කාරකම් නොකරනු ඇත.”</verse>
				<verse number="14">“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයට ඔබ පැමිණ, එය අයිති කොට, එහි පදිංචි වූවායින් පසු, ‘මා අවට සිටින සියලු ජාතීන් මෙන්, මා කෙරෙහි රජෙකු පත් කරගනිමි’යි ඔබ කියන්නට පුළුවන.</verse>
				<verse number="15">දෙවි සමිඳාණන් වහන්සේ තෝරන තැනැත්තා ඔබේ රජු වශයෙන් පත් කිරීමට ඔබ තරයේ සිතට ගත යුතු ය. ඔබේ ජාතියෙන් කෙනෙකු රජු වශයෙන් පත්කළ යුතු ය. ඔබේ ජාතියට අයිති නැති විදේශිකයෙකු ඔබේ රජු වශයෙන් පත් නොකළ යුතු ය.</verse>
				<verse number="16">රජු සිය ප්‍රයෝජනයට බොහෝ අශ්වයන් සපයා නොගත යුතු ය. බොහෝ අශ්වයන් සපයාගැනීම සඳහා සෙනඟ ද මිසරයට නොයැවිය යුතු ය. මන්ද, ‘ඔබ හැම ඒ මාර්ගයෙන් ආපසු නොයා යුතු ය’යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.</verse>
				<verse number="17">තවද, ඔහු තම සිත මුළා ව නොයන පිණිස බොහෝ භාර්යාවන් ද පාවා නොගත යුතු ය. තම වාසියට බොහෝ රන් රිදී ද සපයා නොගත යුතු ය.</verse>
				<verse number="18">ඔහු රාජකීය සිංහාසනය අරා හිඳින කල, ලෙවීවරුන් වන පූජකවරුන්ගේ පොතේ හැටියට මේ ව්‍යවස්ථාවෙන් පිටපතක් ලියාගෙන තමා ළඟ තබාගත යුතු ය.</verse>
				<verse number="19">මෙසේ ඔහු එය තමා ළඟ තබාගෙන, මුළු ජීවිත කාලය තුළ ම එය කියවිය යුතු ය. එසේ කියවීමෙන් ඔහු තම දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමට ද නීති හා නියෝගවල අඩංගු සියල්ල ආරක්ෂා කරමින් ඒවා පිළිපැදීමට ද ඉගෙන ගන්නේ ය;</verse>
				<verse number="20">මෙලෙස සිය සහෝදරයන්ට ඉහළින් තමා ගැන උඩඟු නොවන්නේ ය. ඉශ්රායෙල් ජනයා මැද සිහසුන අරා ඔහුත්, ඔහුගේ දරුපරපුරත් චිරාත් කාලයක් ජීවත් වන පරිදි අණපණත්වලට කීකරු ව ඒවා අකුරට ම ඉටු කරන්නේ ය.”</verse>
			</chapter>
			<chapter number="18">
				<verse number="1">“ලෙවීවරුන් වන පූජකවරුන්ට සහ ලෙවීගේ ගෝත්‍රයට අයිති සියල්ලන්ට ම ඉශ්රායෙල්වරුන් සමඟ රටින් කොටසක් හෝ උරුමයක් හෝ නොලැබේ. සමිඳාණන් වහන්සේට පුදන පඬුරු සහ උන් වහන්සේට හිමි කොටස ඔවුන් වැළඳිය යුතු ය.</verse>
				<verse number="2">එබැවින් ඔවුන්ගේ සහෝදර ජනතාව සමඟ ඔවුන්ට උරුමයක් නොවනු ඇත. සමිඳාණන් වහන්සේ ඔවුන්ට වදාළ පරිදි උන් වහන්සේ ම ඔවුන්ගේ උරුමය වනු ඇත.</verse>
				<verse number="3">“සෙනඟ, ගොනෙකු හෝ බැටළුවෙකු හෝ පූජා වශයෙන් පුද කළ විට, පූජකවරයාට ඒ අයගෙන් හිමි වන කොටස මෙය වේ. එනම්, ඔවුන් පූජකවරයාට සතාගේ ඉස්සරහ ගාතය ද හකු දෙක ද ආමාශය ද දිය යුතු ය.</verse>
				<verse number="4">තවද ඔබ ධාන්‍ය අස්වැන්නෙත්, මිදියුස සහ තෙල්වලත්, මුල් කොටස ද බැටළුවන්ගෙන් මුලින් ම කපාගන්න ලෝම ද ඔහුට දිය යුතු ය.</verse>
				<verse number="5">ඔබේ සියලු ම ගෝත්‍රවලින්, දෙවි සමිඳාණන් වහන්සේට සදහට ම සේවය කරනු පිණිස පූජකවරුන් සහ ඔවුන්ගේ පරපුර තෝරාගත් සේක.</verse>
				<verse number="6">“මුළු ඉශ්රායෙල් ජනතාව වසන නගරවලින්, යම් ලෙවීවරයෙකු, තමා පදිංචි ව සිටි ස්ථානයෙන් නික්ම, ඉතා දැඩි ආශාවකින් සමිඳාණන් වහන්සේ තෝරාගන්න ස්ථානයට පැමිණියොත්,</verse>
				<verse number="7">සමිඳාණන් වහන්සේ අබිමුව සෙසු සහෝදර ලෙවීවරුන් කරන්නාක් මෙන් ඔහු ද තම දෙවි සමිඳාණන් වහන්සේට සේවය කළ යුතු ය.</verse>
				<verse number="8">තම පිය උරුමය විකිණීමෙන් ලැබෙන ආදායමට අමතර ව සෙසු පූජකවරුන්ට මෙන් ඔහුටත් වැළඳීමට සම කොටසක් දිය යුතු ය.”</verse>
				<verse number="9">“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන රටට ඔබ පැමිණිවිට, ඒ ජාතීන්ගේ පිළිකුල් චාරිත්‍ර අනුගමනය නොකිරීමට පරෙස්සම් විය යුතු ය.</verse>
				<verse number="10">තම පුත්‍රයා හෝ දුව හෝ ගින්නෙන් දවා පූජා කරන්නෙකු වත්, පේන කියන්නෙකු වත්, නැකත් බලන්නෙකු වත්, ශාස්ත්‍රකාරයෙකු වත්, කොඩිවිනකාරයෙකු වත්,</verse>
				<verse number="11">හූනියම් කරන්නෙකු වත්, ආත්ම බන්ධනකාරයන්ගෙන් ගුරුකම්ගන්නෙකු වත්, මන්ත්‍රකාරයෙකු වත්, යක්බැන්දුම්කාරයෙකු වත් ඔබ අතර නොසිටිය යුතු ය.</verse>
				<verse number="12">මෙවැනි දේවල් කරන සියල්ලෝ සමිඳාණන් වහන්සේට පිළිකුලකි. ඔවුන්ගේ මේ පිළිකුල් ක්‍රියා නිසා දෙවි සමිඳාණන් වහන්සේ ඔබ යන්නට කලින් ඔවුන් පන්නා හරින සේක.</verse>
				<verse number="13">දෙවි සමිඳාණන් වහන්සේට ඔබ සම්පූර්ණයෙන් ම විශ්වාසවන්ත ව සිටිය යුතු ය.”</verse>
				<verse number="14">එවිට මෝසෙස් මෙසේ කීවේ ය: “ඔබ පලවා හරින්න යන මේ ජාතීහු නැකත් බලන්නන්ට ද පේන කියන්නන්ට ද සවන් දුන්හ. එහෙත් ඔබට නම්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ එවැනි දේවලට ඉඩ නොදෙන සේක.</verse>
				<verse number="15">දෙවි සමිඳාණන් වහන්සේ ඔබ අතරෙන් ද ඔබේ සහෝදර ජනතාව අතරෙන් ද මා හා සමාන දිවැසිවරයෙකු පත් කරන සේක. ඔබ ඔහුට සවන් දිය යුතු ය.</verse>
				<verse number="16">හොරෙබ් කන්ද ළඟ ජනතාව රැස් වූ දින, දෙවි සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින්, ‘අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ කටහඬ අපට යළි ඇසෙන්න ඉඩ නොතබනු මැනවි; අප මිය නොයන ලෙස මේ මහා ගින්න ද අපට තවත් පෙනෙන්න ඉඩ නොදෙනු මැනව’යි ඉල්ලුවහු ය.</verse>
				<verse number="17">සමිඳාණන් වහන්සේ මට කතා කොට ‘ඔවුන් කී දේ නැණවත් ය.</verse>
				<verse number="18">නුඹේ සහෝදර ජනතාව අතරෙන් නුඹ හා සමාන දිවැසිවරයෙකු තෝරා පත් කොට, ඔහු කිය යුතු දේ ඔහුට කියා දෙන්නෙමි. ඔහුට මා අණ කරන සියල්ල, ඔවුන්ට ඔහු දන්වනු ඇත.</verse>
				<verse number="19">යමෙක් මාගේ නාමයෙන් ඔහු කියන දේට සවන් නොදෙන්නේ නම්, මම එවැන්නෙකුට දඬුවම් කරමි.</verse>
				<verse number="20">එහෙත්, මාගේ නාමයෙන් දිවැස් වැකි කීමට ඉදිරිපත් වන දිවැසිවරයා, මා අණ නොකළ දෙයක් කීමට හිතට ගතහොත් හෝ අන් දේවතාවන්ගේ නාමයෙන් කතා කළොත් හෝ ඒ තැනැත්තා මරනු ලැබේ.’</verse>
				<verse number="21">“ ‘සමිඳාණන් වහන්සේ නොවදාළ දිවැස් වැකියක් තිබේ නම්, අපි ඒ ගැන කෙසේ දැනගන්නෙමු දැ’යි ඔබ සිතන්න පුළුවන.</verse>
				<verse number="22">දිවැසිවරයෙකු සමිඳාණන් වහන්සේගේ නාමයෙන් කතා කිරීමට ඉදිරිපත් වූ නමුත්, ඔහු කී දේ සිදු නොවේ නම්, ඉටු නොවේ නම්, ඒ කරුණ සමිඳාණන් වහන්සේ නොවදාළ එකකි. එය දිවැසිවරයා තම හිතුවක්කාරකමින් කී කරුණකි. එවැන්නෙකුට ඔබ බිය නොවිය යුතු ය.”</verse>
			</chapter>
			<chapter number="19">
				<verse number="1">“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයෙහි උන් වහන්සේ ජනතාව වනසාදැමූ විට, ඔබ ඒවා අයිති කොටගෙන, ඒවායේ නගර සහ ගෙවල පදිංචි වූ පසු,</verse>
				<verse number="2">ඔබ උරුම කොටගත් ඒ දේශයේ නගර තුනක් වෙන් කළ යුතු ය.</verse>
				<verse number="3">දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන එම දේශය කොටස් තුනකට බෙදා, ඕනෑ ම මිනීමරුවෙකුට ඒවාට පලා යනු සඳහා මඟක් පිළියෙළ කළ යුතු ය.</verse>
				<verse number="4">ඒවාට පලා ගොස් පණ බේරාගත හැක්කේ පහත දක්වන අන්දමට කෙනෙකු අතින් මරණයක් වූ විට ය. කලින් වෛරයක් නොමැති ව, අදහස් නොකර යමෙකු මැරුවොත් ඔහුට එලෙස පලා යත හැකි ය.</verse>
				<verse number="5">නිදසුනක් නම් මෙය වේ: යමෙකු තව කෙනෙකු සමඟ ලී කැපීමට වනයට ගොස්, ගසක් කපනු පිණිස අත ඔසවා පොරොවෙන් පහර දෙන විට, පොරෝ තලය මිටෙන් ගැලවී අනිත් තැනැත්තාගේ ඇඟට වැදී ඔහු මළොත්, ගස කැපූ තැනැත්තාට ඒ නගරවලින් එකකට පලා ගොස් පණ බේරා ගත හැකි ය.</verse>
				<verse number="6">පලා යාමට ඇත්තේ එක නගරයක් නම්, එය බොහෝ දුර වී නම්, පළිගැනීමේ අයිතිය හිමි, මරන ලද තැනැත්තාගේ ලේ නෑයෙකුට, තමා දැඩි කෝපයෙන් සිටිය දී මැරූ තැනැත්තා ලුහුබැඳ ගොස්, ඔහු අල්ලාගෙන, මරා දමන්නට හැකි වේ. එහෙත්, එවැන්නෙකු කලින් වෛර බැඳ නොසිටි බැවින්, ඒ තැනැත්තා මරාදැමීම යුතු නොවේ.</verse>
				<verse number="7">එබැවින් ඔබේ ප්‍රයෝජනයට නගර තුනක් වෙන් කළ යුතු යයි මම අණ කරමි.</verse>
				<verse number="8">“උන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුරුම් දුන් ප්‍රකාර ඔබේ දේශ සීමා පළල් කොට, උන් වහන්සේ ඔවුන්ට පොරොන්දු වූ පරිදි මේ මුළු රට ම ඔබට දානය කරන සේක.</verse>
				<verse number="9">එසේ කරන්නේ, මා ඔබට අද දින දෙන අණපණත් සියල්ලට ඔබ අවනත වී ඒවා පිළිපැද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කරමින්, උන් වහන්සේට සදහට ම කීකරු වන්නහු නම් පමණකි. ඉන්පසු පෙර කී අභය භූමි නගර තුනට අමතර ව තව තුනක් එකතු කළ යුතු ය.</verse>
				<verse number="10">එවිට දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන ඒ ඔබේ දේශයෙහි ඔබ නිදොස් ලේ නොවගුරන්නහු ය.</verse>
				<verse number="11">“එහෙත් යමෙකු අනෙකකුට වෛර බැඳ, ඔහු එන තෙක් රැක සිට, ඔහුට විරුද්ධ ව නැඟිට, මැරෙන්නට පහර දී, ඒ නගරවලින් එකකට පලා ගියොත්,</verse>
				<verse number="12">නගරයේ ප්‍රජා මූලිකයන්, මිනිසුන් යවා ඔහු ගෙන්වාගෙන, ඔහු මරාදමන පිණිස, මිනීමැරීම ගැන පළිගන්න තැනැත්තාට ඔහු පාවා දිය යුතු ය.</verse>
				<verse number="13">ඔබ ඔහුට අනුකම්පා නොදක්වා, ඉශ්රායෙල් ජනයා අතරෙන් නිදොස් ලේ හැළීම පිළිබඳ වරදකරු නෙරපාදැමිය යුතු ය. එවිට ඔබට ශුභසිද්ධිය සැලසෙන්නේ ය.”</verse>
				<verse number="14">“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට හිමි කරගන්නට දෙන දේශයෙහි ඔබට උරුම වන වතුපිටිවල, පුරාණයේ පටන් පිහිටුවා ඇති, ඔබේ අසල්වැසියාගේ වතු මායිම් ඉවත් නොකළ යුතු ය.”</verse>
				<verse number="15">“යමෙකු කළ අපරාධයක් හෝ වරදක් හෝ ගැන තීන්දු කිරීමට එක සාක්ෂිකරුවෙක් ප්‍රමාණ නොවේ. සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ වචනය පිට යම් කරුණක් තීරණය කළ යුතු වේ.</verse>
				<verse number="16">යමෙකුට විරුද්ධ ව බොරු වරද තැබීමට බොරු සාක්ෂිකරුවෙකු ඉදිරිපත් වුවහොත්,</verse>
				<verse number="17">ඒ නඩුවට සම්බන්ධ දෙදෙනා ම සමිඳාණන් වහන්සේ ඉදිරියට, එනම්, එකල නිල දරන පූජකවරුන් සහ විනිශ්චයකරුවන් ඉදිරියට, පැමිණිය යුතු ය.</verse>
				<verse number="18">විනිශ්චයකරුවන් නඩුව හොඳින් විභාග කළ පසු, සාක්ෂිකරු බොරු සාක්ෂිකරුවෙකු බවත්, තම සොහොයුරාට විරුද්ධ ව ඔහු බොරු සාක්කි දුන් බවත් පෙනී යන්නේ නම්,</verse>
				<verse number="19">සාක්ෂිකරු විත්තිකරුට කරන්නට අදහස් කළ දෙය, සාක්ෂිකරු හට ම දිය යුතු ය. මෙලෙස ඔබ, ඔබ අතරෙන් මෙවැනි නපුරුකම් පහකළ යුතු ය.</verse>
				<verse number="20">සෙසු අය ද මේ ගැන අසා, බිය වී, මෙවැනි නපුරුකම් ඔබ අතර තවදුරටත් නොකරන්නෝ ය.</verse>
				<verse number="21">කිසි ම අනුකම්පාවක් නොදක්වන්න; හිලව් වශයෙන් පණට පණ ද ඇසට ඇස ද දතට දත ද අතට අත ද පයට පය ද දිය යුතු ය.”</verse>
			</chapter>
			<chapter number="20">
				<verse number="1">“ඔබ ඔබේ සතුරන්ට විරුද්ධ ව සටනට ගොස්, අශ්වයන් සහ රථ ද ඔබට වඩා ගණනින් විශාල සේනාවක් ද දකින විට, ඔවුන්ට බිය නොවන්න. ඔබ මිසර දේශයෙන් පිටතට ගෙනා ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක.</verse>
				<verse number="2">ඔබ සටනට ළං වන කල පූජකවරයා සේනාව වෙත පැමිණ,</verse>
				<verse number="3">ඔවුන් අමතමින්, ‘ඉශ්රායෙල් ජනයෙනි, සවන් දෙන්න; අද දින ඔබේ සතුරන්ට විරුද්ධ ව ඔබ සටනට යන්නහු ය. සිත් අධෛර්ය කර නොගන්න; බිය නොවන්න, කලබල නොවන්න; සතුරන් නිසා තැති නොගන්න.</verse>
				<verse number="4">ඔබ ගළවාගැනීමට ඔබ වෙනුවෙන් සතුරන්ට විරුද්ධ ව සටන් කරන පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වඩින සේකැ’යි කිව යුතු ය.</verse>
				<verse number="5">“එවිට නිලධාරීන් සේනාව අමතා මෙසේ කිව යුතු ය: ‘අලුත් ගෙයක් තැනූ නමුත්, එහි ගෙවදීමේ උත්සවය නොකළ යමෙක් මෙහි සිටී ද? එවැන්නෙක් ආපසු ගෙදර යා යුතු ය. මන්ද, ඔහු සටනේ දී මියගියොත්, අන් කෙනෙකු ඒ උත්සවය සිදු කරනු ඇත.</verse>
				<verse number="6">මිදි වත්තක් වවා එහි පලදාව භුක්ති නොවින්ද යමෙක් මෙහි සිටී ද? එවැන්නෙක් ආපසු ගෙදර යා යුතු ය. මන්ද, ඔහු සටනේ දී මියගියොත් අන් කෙනෙක් එහි පලදාව භුක්ති විඳින්නට පුළුවන.</verse>
				<verse number="7">කාන්තාවක හා විවාහ ගිවිසගත් නමුත් ඈ සරණ පාවා නොගත් යමෙක් සිටී ද? එවැන්නෙක් ආපසු ගෙදර යා යුතු ය. මන්ද, ඔහු සටනේ දී මියගියොත් අන් කෙනෙකු ඇය සරණ පාවාගන්නට පුළුවන.</verse>
				<verse number="8">“නිලධාරීන් තවදුරටත් සේනාව අමතමින්, ‘බිය වන, අධෛර්ය වන යමෙක් මෙහි සිටී ද? එවැන්නෙක් ආපසු ගෙදර යා යුතු ය. එවිට ඔහුගේ සිත මෙන් සෙසු සහෝදර ජනතාවගේ සිත් ද අධෛර්යට පත් නොවනු ඇතැ’යි කිව යුතු ය.</verse>
				<verse number="9">නිලධාරීන් සෙනඟට කතා කොට නිම වූ පසු, සේනාවන් මෙහෙය වනු සඳහා සේනාධිපතීන් පත් කරනු ලැබිය යුතු ය.</verse>
				<verse number="10">“යම් නුවරකට විරුද්ධ ව සටන් කිරීම ළඟා වන විට, ඊට සාම යෝජනාවක් ඉදිරිපත් කරන්න.</verse>
				<verse number="11">ඒ නුවර වාසීහු ද සාමදානයට කැමැති ව, එහි දොරටු විවෘත කරත් නම්, එහි සිටින සියල්ලන් ම වහලුන් මෙන් ඔබට වහල් සේවය ඉටු කළ යුතු ය.</verse>
				<verse number="12">එහෙත්, ඔව්හු සාමදානයට කැමැති නොවී, ඔබට විරුද්ධ ව සටන් කරත් නම් ඔබ ඒ නුවර වටලෑ යුතු ය.</verse>
				<verse number="13">දෙවි සමිඳාණන් වහන්සේ එය ඔබේ බලයට පාවා දුන් පසු, ඔබ එහි සිටින සියලු පිරිමින් කඩුවෙන් මරාදැමිය යුතු ය.</verse>
				<verse number="14">එහෙත්, කාන්තාවන් ද කුඩා දරුවන් ද ගවමහිෂයන් ද ඒ නුවරින් කොල්ලකාගත් මුළු වස්තුව ද ඔබේ ප්‍රයෝජනයට තබාගත හැකි ය. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දුන් ඔබේ සතුරන්ගේ කොල්ලකාගත් වස්තුව ඔබට භුක්ති විඳිය හැකි ය.</verse>
				<verse number="15">ඔබට යාබද ව වසන ජාතීන්ට අයිති නො වූ, ඔබෙන් බොහෝ දුරස්තර ව පිහිටි නගර සියල්ලට ම ඔබ මෙලෙස කළ යුතු ය.</verse>
				<verse number="16">“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන නගරවල සෙනඟගෙන් කිසිවෙකුට පණපිටින් සිටින්නට ඉඩ නොහැරිය යුතු ය.</verse>
				<verse number="17">දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ දුන් ප්‍රකාර හිත්තීවරුන් ද අමෝරිවරුන් ද කානානිවරුන් ද පෙරිස්සිවරුන් ද හිවීවරුන් ද ජෙබුසිවරුන් ද යන සියල්ලන් සහමුලින් ම වනසාලිය යුතු ය.</verse>
				<verse number="18">ඔබ එසේ කළ යුත්තේ, ඔවුන් තමන්ගේ දෙවිදේවතාවන් ඉදිරියෙහි කරන පිළිකුල් ක්‍රියාවන් ඔබට නූගන්වන පිණිසත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් නොකරන පිණිසත් ය.</verse>
				<verse number="19">“යම් නුවරක් අල්ලාගැනීම සඳහා සටනක යෙදී, බොහෝ කාලයක් එය වටලාගෙන සිටින විට, එහි ඇති ගස් කොළන් පොරොවකින් වැනසිය යුතු නොවේ. ඒවායින් ඔබට කන්නට පුළුවන. ඒවා නොකැපිය යුතු ය; නගරයක් වැටලීමේ දී එහි ඇති ගස් කොළන්, ඔබේ සතුරන් නොවන බව සැලකිය යුතු ය.</verse>
				<verse number="20">පල නොදරන යම් ගසක් වේ නම්, ඔබට එය කපා වනසාදැමිය හැකි ය. ඒවා පාවිච්චි කරමින්, ඔබට විරුද්ධ ව සටන් කරන නගරය යටත් වන තුරු එය වැටලීම සඳහා පවුරු පදනම් සෑදිය හැකි ය.”</verse>
			</chapter>
			<chapter number="21">
				<verse number="1">“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අයිති කරගැනීමට දෙන දේශයෙහි යම් එළිමහන් තැනක මරාදමනු ලැබූ යමෙකු සම්බ වුණොත්, ඔහු මැරූ තැනැත්තා නොදන්නේ නම්,</verse>
				<verse number="2">එවිට ප්‍රජා මූලිකයන් සහ විනිශ්චයකරුවන් පැමිණ, මළසිරුර ඇති තැන සිට අවට තිබෙන නගරවලට ඇති දුර මැනිය යුතු ය.</verse>
				<verse number="3">ඉන්පසු මළසිරුරට කිට්ටු ම නගරයේ ප්‍රජා මූලිකයන් වැඩ කිරීමට නොගත්, වියගස නොදැරූ එළ නෑම්බියක ගෙන,</verse>
				<verse number="4">කිසිවක් නොවපුළ, රෝපණය නොකළ, දිය ගලා යන මිටියාවතකට ගොස්, එම ස්ථානයේ දී ඇගේ ගෙල සිඳදැමිය යුතු ය.</verse>
				<verse number="5">එවිට ලෙවීගේ පුත්‍රයන් වන පූජකවරුන් එහි ආ යුතු ය. දෙවි සමිඳාණන් වහන්සේට සේවය කිරීමටත්, උන් වහන්සේගේ නාමයෙන් ආසිරි දීමටත් උන් වහන්සේ තෝරාගත්තෝ ඔව්හු ය. සෑම වාද විවාද සහ අඬදබර ඔවුන්ගේ තීන්දුවෙන් තේරුම් බේරුම් කරගත යුතු වේ.</verse>
				<verse number="6">ඉන්පසු, මරන ලද තැනැත්තාට ඉතා කිට්ටු නගරයේ ප්‍රජා මූලිකයන්, දිය ගලා යන ස්ථානයේ ගෙල සිඳින ලද එළ නෑම්බියගේ හිස මත තමන්ගේ අත් සෝදාගත යුතු ය.</verse>
				<verse number="7">තවද, ඔවුන් මෙසේ කිව යුතු ය: ‘අපි මේ ලේ නොවැගුරුවෙමු. අපි එය නුදුටිමු.</verse>
				<verse number="8">ස්වාමීනි, ඔබ මුදාගත් ඔබේ ඉශ්රායෙල් සෙනඟට අනුකම්පාව දක්වන සේක් වා! මේ නිදොස් ලේ ඔවුන්ගේ වගකීමට නොපවරන සේක් වා!’ එවිට එම මිනීමැරීම පිළිබඳ වරද ඔබේ සෙනඟ වන ඉශ්රායෙල් ජනතාවට කමා කරනු ලැබේ.</verse>
				<verse number="9">මෙලෙස ඔබ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යුතු දේ කිරීමෙන්, නිදොස් ලේ වැගිරීම පිළිබඳ වරද ඔබ අතරෙන් පහකළ යුතු ය.”</verse>
				<verse number="10">“ඔබ ඔබේ සතුරන්ට විරුද්ධ ව සටනට ගිය විට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පාවා දී, ඔවුන් වහල්කමට අල්ලාගත් පසු,</verse>
				<verse number="11">ඔවුන් අතර ඔබ කැමැති, රුවැති කාන්තාවක දැක, ඇය ඔබේ බිරිඳ කරගන්නට කැමැති නම්,</verse>
				<verse number="12">ඇය ගෙදර ගෙනැවිත්, ඇගේ හිස බූගෑ යුතු ය. ඇගේ නියපොතු කැපිය යුතු ය.</verse>
				<verse number="13">ඇය ද වහල්කමේ ඇඳුම් මාරු කොට, ඔබේ ගෙදර නැවතී, ඇගේ දෙමාපියන් සඳහා සම්පූර්ණ මාසයක් වැලපිය යුතු ය. ඉන්පසු ඔබ ඇය සමඟ හැසිර, ඇගේ ස්වාමි පුරුෂයා විය හැකි ය. ඇය ද ඔබේ බිරිඳ වන්නී ය.</verse>
				<verse number="14">එහෙත්, කාලයක් ගිය පසු ඔබ ඇයට කැමැති නැත්නම්, ඈට කැමැති තැනකට යන්න ඉඩ හැරිය යුතු වේ. එහෙත් ඔබ ඇය බිරිඳ කොට තබාගත් බැවින් වහලියක මෙන් සලකා, මුදලට විකිණිය යුතු නොවේ.”</verse>
				<verse number="15">“යම් පුරුෂයෙකුට භාර්යාවෝ දෙදෙනෙක් සිටිත් නම්, ඔහු එක් කෙනෙකුට ප්‍රේම කරන්නටත්, අනෙක් තැනැත්තීට ප්‍රේම නොකරන්නටත් පුළුවන. එහෙත්, ප්‍රේමය ලැබූ හා නොලැබූ භාර්යාවන් දෙදෙනා ඔහුගෙන් දරුවන් ලබන විට, ප්‍රේමය නොලැබූ තැනැත්තියගේ දරුවා කුලුඳුලා වේ නම්,</verse>
				<verse number="16">එවැනි අවස්ථාවක දී, ඒ පුරුෂයා තමා සන්තක වස්තුව තම දරුවන්ට උරුම කොට දෙන කල, කුලුඳුලා සිටින, තමා ප්‍රේම නොකළ භාර්යාවගේ පුත්‍රයා වෙනුවට තමා ප්‍රේම කළ භාර්යාවගේ පුත්‍රයා කුලුඳුලා මෙන් නියම නොකළ යුතු ය.</verse>
				<verse number="17">තමා ප්‍රේම නොකළ තැනැත්තීගේ පුත්‍රයාට තමා සතු වස්තුවෙන් කොටස් දෙකක් දී, ඔහු කුලුඳුලා මෙන් පිළිගත යුතු වේ. මන්ද, ඒ කුලුඳුලා ඔහුගේ පුරුෂ ශක්තියේ නාඹුල් පලය වේ. එබැවින් කුලුඳුල් බවේ අයිතිය ඔහුගේ ය.”</verse>
				<verse number="18">“දෙමාපියන් හට කීකරු නොවන, දඬුවම් දුන් කල පවා ඔවුන්ට ඇහුම්කන් නොදෙන, හිතුවක්කාර, කැරලිකාර පුතෙක් යමෙකුට සිටී නම්,</verse>
				<verse number="19">ඔවුන් ඔහු අල්ලාගෙන වාසල් දොරකඩ සිටින තම නගරයේ ප්‍රජා මූලිකයන් වෙත ඔහු ගෙනා යුතු ය.</verse>
				<verse number="20">මෙසේ ගෙනැවිත්, ඔවුන් නගර ප්‍රජා මූලිකයන්ට කතා කොට, ‘මොහු හිතුවක්කාර, කැරලිකාර දරුවෙකි. මොහු අපට කීකරු වන්නේ නැත. මොහු බේබද්දෙකි, නාස්තිකාරයෙකි’යි කිය යුතු ය.</verse>
				<verse number="21">එවිට නගරයේ සියලු ම මිනිස්සු ඔහුට ගල් ගසා මරණයට පත් කරන්නෝ ය. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ. මුළු ඉශ්රායෙල් ජනතාව මෙය ගැන ඇසූ විට බිය වනු ඇත.”</verse>
				<verse number="22">“යමෙකු මරණ දඬුවමට සුදුසු අපරාධයක් කොට ගසක එල්ලා මරනු ලැබුවහොත්</verse>
				<verse number="23">මුළු රැය ම ඔහුගේ මළකඳ ගසේ තිබෙන්නට නෑර, කෙසේ නමුත් එදින ම එය භූමදාන කළ යුතු ය. එල්ලා මරන ලද තැනැත්තා, දේව සාපයට පාත්‍ර වූ කෙනෙකි. මෙසේ කිරීමෙන් දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන දේශය දූෂ්‍ය නොවන්නේ ය.</verse>
			</chapter>
			<chapter number="22">
				<verse number="1">“ඔබේ සහෝදරයාට අයිති ගොනෙකු හෝ බැටළුවෙකු හෝ මංමුළා ව ගොස් සිටිනු දැක, ඌ ගැන සලකා බලා, ඔබේ සහෝදරයා වෙත ඌ ආපසු ගෙනා යුතු ය.</verse>
				<verse number="2">එහෙත්, ඔබේ සහෝදරයා අසලක නොසිටී නම්, නොහොත් ඔබ ඔහු නොදන්නෙහි නම්, ඔහු ඌ සොයා එන තුරු ඔබ ඌ ගෙදර ගෙන යා යුතු ය. ඔහු ඌ සොයා ආ විට ඒ සතා ඔහුට ආපසු භාර දිය යුතු ය.</verse>
				<verse number="3">ඔබේ සහෝදරයාට අයිති ව තිබී, නැති වූ, පසුව ඔබ සොයාගත් ඔහුගේ කොටළුවෙකු හෝ ඔහුගේ වස්ත්‍ර හෝ අන් හැම දෙයක් හෝ සම්බන්ධයෙන් ද ඔබ මගනෑර එලෙස ම සලකා බලා ක්‍රියා කළ යුතු ය.</verse>
				<verse number="4">“ඔබේ සහෝදරයාගේ කොටළුවා හෝ ගොනා හෝ පාරේ වැටී සිටිනු ඔබ දුටුවහොත්, අහක බලාගෙන නොගොස් ඌ නැගිටුවාලීමට ආධාර කළ යුතු ය.</verse>
				<verse number="5">“කාන්තාවක පුරුෂයෙකුගේ ඇඳුම් ඇඟ ලා නොගත යුතු ය. පුරුෂයෙකු ස්ත්‍රියකගේ ඇඳුම ඇඟ ලා නොගත යුතු ය. එලෙස කරන සියල්ලන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පිළිකුලකි.</verse>
				<verse number="6">“ඔබ පාරේ යන විට, ගසක හෝ බිම හෝ ඇති, පැටවුන් හෝ බිත්තර හෝ සහිත, කුරුලු කූඩුවක් දුටහොත්, තවද කිරිල්ලී පැටවුන් හෝ බිත්තර හෝ මත සිටින්නී නම්, ඔබ පැටවුන් සමඟ කිරිල්ලී නොගත යුතු ය.</verse>
				<verse number="7">කිරිල්ලී ගිය පසු පැටවුන් ඔබට ගත හැකි ය. මෙලෙස කළොත් ඔබට සෙත සැලසේ; ඔබේ ආයු දික් වන්නේ ය.</verse>
				<verse number="8">“ඔබ අලුත් ගෙයක් ඉදි කරන විට, වහලෙන් යමෙකු ලිස්සා නොවැටෙන සේ වහල වෙට්ට ම බිත්තියක් තැනිය යුතු ය. යමෙකු එයින් ලිස්සා වැටී මැරුණොත්, ඒ මරණය පිළිබඳ වගකීම ඔබේ ගෘහයේ අය පිට නොපැවරේ.</verse>
				<verse number="9">“ඔබේ මිදි වත්තේ බීජ දෙවර්ගයක් වැපිරිය යුතු නොවේ. එසේ කළොත් ඔබ වපුළ බීජවල පලදාවත්, මිදි පලදාවත් ශුද්ධස්ථානයට අයිතිවන්නේ ය.</verse>
				<verse number="10">“කෙතක් හෑම සඳහා ගොනෙකු සහ කොටළුවෙකු එකට බැඳිය යුතු නොවේ.</verse>
				<verse number="11">“ලෝම සහ හණ වැනි දෙවර්ගයක ද්‍රව්‍ය මිශ්‍ර ඇඳුම් ඇඟ ලා නොගත යුතු ය.</verse>
				<verse number="12">“ඔබ ඇඟ ලා ගන්න ඇඳුම්වල කොන් සතරේ දාවලු සාදාගත යුතු ය.”</verse>
				<verse number="13">“යම් පුරුෂයෙකු බිරිඳක පාවාගෙන ඈ සමඟ සේවනයෙහි යෙදී, කලකට පසු ඈට අකමැති වී,</verse>
				<verse number="14">ඈට විරුද්ධ ව බොරු චෝදනා ඉදිරිපත් කොට, ඇගේ නමට නිගා කරමින්, ‘මම මේ කාන්තාව සරණ පාවා ගතිමි; ඈ වෙත පිවිසුණු කල්හි ඈ කන්‍යාවක් නොවූයේ ය’යි කිවහොත්,</verse>
				<verse number="15">තරුණියගේ දෙමාපියන් ඈ ගෙන නගර වාසල් දොරටුවේ සිටින ප්‍රජා මූලිකයන් වෙත තරුණියගේ කන්‍යාභාවය දක්වන සලකුණු රැගෙන යා යුතු ය.</verse>
				<verse number="16">තරුණියගේ පියා ප්‍රජා මූලිකයන්ට කතා කොට, ‘මම මගේ දුව මේ පුරුෂයාට බිරිඳ කොට පාවා දුනිමි. එහෙත්, ඔහු ඇයට අකමැති වී,</verse>
				<verse number="17">බොරු චෝදනා ඉදිරිපත් කරමින්, මගේ දුව කන්‍යාවක් නො වූවා යයි කියයි. එහෙත් මෙන්න, මාගේ දුවගේ කන්‍යාභාවයේ සලකුණු’යි කියා, ප්‍රජා මූලිකයන් ඉදිරියෙහි, රෙදි කඩ දිග ඇරිය යුතු වේ.</verse>
				<verse number="18">එවිට නගරයේ ප්‍රජා මූලිකයන් ඒ පුරුෂයා ගෙන ඔහුට පහර දිය යුතු ය.</verse>
				<verse number="19">තවද, ඔහුට රිදී කාසි සියයක් දඩ ගසා ඒවා ඒ තරුණියගේ පියාට දිය යුතු ය. මෙසේ කළ යුත්තේ ඉශ්රායෙල් ජාතික කන්‍යාවක පිට ඔහු නරක නාමය පැවරූ බැවිනි. ඇය ඔහුගේ බිරිඳ වන්නී ය. දිවි ඇති තාක් ඔහුට ඇය පන්නාදැමිය නොහැකි ය.</verse>
				<verse number="20">“එහෙත්, තරුණියගේ කන්‍යාභාවයේ සලකුණ නැති බවට ඉදිරිපත් කළ චෝදනාව ඇත්තක් නම්,</verse>
				<verse number="21">ඔවුන් ඇගේ පියාගේ ගෘහයේ දොරකඩට ඇය ගෙනා පසු, නුවර මිනිසුන් ඇයට ගල් ගසා මරණයට පත් කළ යුතු ය. එසේ කළ යුත්තේ, ඇගේ පියාගේ ගෘහයේ දී ඈ වෙසඟනක ලෙස හැසිරෙමින්, ඉශ්රායෙල් ජනයා අතර නින්දිත දෙයක් කළ බැවිනි. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ.</verse>
				<verse number="22">“යම් පුරුෂයෙකු අන් විවාහක කාන්තාවක සමඟ සයනය කළහොත්, එම පුරුෂයාත් කාන්තාවත් දෙදෙන ම මරණයට පත් කළ යුතු ය. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ.</verse>
				<verse number="23">“යම් මිනිසෙකු, අන් පුරුෂයෙකුට විවාහ ගිවිසුම් බස් දුන් කන්‍යාවක සමඟ නගරය තුළ දී හමු වී ඇය සමඟ සයනය කළහොත්,</verse>
				<verse number="24">ඔබ ඔවුන් දෙදෙනා ඒ නගරයේ වාසල් දොරකඩට ගෙනවුත් ගල් ගසා මරණයට පත් කළ යුතු ය. තරුණිය මැරිය යුත්තේ නගරය තුළ දී ඈට එය වූ බැවින්, කෑ ගසා බේරෙන්නට ඇයට ඉඩ ප්‍රස්තාව තිබූ නිසා ය. පුරුෂයා මැරිය යුත්තේ, ඔහු තම අසල්වැසියාගේ බිරිඳට අගෞරව කළ බැවිනි. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ.</verse>
				<verse number="25">“යම් මිනිසෙකු අන් පුරුෂයෙකුට විවාහ ගිවිසුම් බස් දුන් තරුණියක එළිමහනේ දී මුණගැසී, ඔහු බලහත්කාරකමින් ඇය දූෂණය කළහොත්, ඒ පුරුෂයා පමණක් මරණයට පත් කළ යුතු ය.</verse>
				<verse number="26">තරුණියට නම්, කිසිවක් නොකළ යුතු ය. ඈ මරණයට සුදුසු අපරාධයක් නොකළ බැවිනි. මේ කාරණය, යමෙකු තම අසල්වැසියාට විරුද්ධ ව නැඟිට, ඔහු මරා දැමීමට සමාන වේ.</verse>
				<verse number="27">මන්ද, විවාහ ගිවිසුම් බස් දුන් තරුණිය ඔහුට මුණගැසුණේ කෙතක දී ය. ඈ කෑගැසූ නමුත් ඇය මුදාගැනීමට කිසිවෙකු නොසිටි බැවිනි.</verse>
				<verse number="28">“යම් මිනිසෙකු අන් පුරුෂයෙකුට විවාහ ගිවිසුම් බස් නුදුන් තරුණ කන්‍යාවක බලහත්කාරකමින් දූෂණය කොට හසුවුවහොත්,</verse>
				<verse number="29">ඔහු ඒ තරුණියගේ පියාට රිදී කාසි පණහක් දිය යුතු ය. ඇය ඔහුගේ බිරිඳ වන්නී ය. ඔහු ඇයට අගෞරව කළ බැවින් දිවි ඇති තාක් ඇය නෙරපා නොදැමිය යුතු ය.</verse>
				<verse number="30">“යම් පුරුෂයෙකු තම පියාගේ බිරිඳ සරණ පාවාගෙන ඒ පියාට නින්දා කළ යුතු නොවේ.”</verse>
			</chapter>
			<chapter number="23">
				<verse number="1">“අණ්ඩය තුවාළ වූ හෝ රහසඟ කපන ලද හෝ කෙනෙකු සමිඳාණන් වහන්සේගේ සභාවට නොයා යුතු ය.</verse>
				<verse number="2">අවජාතක යමෙකු ද සමිඳාණන් වහන්සේගේ සභාවට නොයා යුතු ය. එවැන්නෙකුගෙන් පැවතෙන අය දස වන පරම්පරාව දක්වා ම සමිඳාණන් වහන්සේගේ සභාවට නොයා යුතු ය.</verse>
				<verse number="3">“අම්මොනිය ජාතිකයෙකු වත්, මෝවබ් ජාතිකයෙකු වත්, මොවුන්ගෙන් පැවත එන අය වත්, දස වන පරම්පරාවේ දී වත් සමිඳාණන් වහන්සේගේ සභාවට නොයා යුතු ය.</verse>
				<verse number="4">ඔවුන් නොයා යුත්තේ, ඔබ මිසර දේශයෙන් නික්ම එන විට, මාර්ගයේ දී ඔබට ඔවුන් ආහාර පාන නුදුන් නිසාත්, ඔවුන් ඔබට විරුද්ධ ව සාප කරනු සඳහා මෙසොපොතාමියේ පෙතෝර් නගරයේ බෙයෝර්ගේ පුත් බාලාම් කුලියට ගත් නිසාත් ය.</verse>
				<verse number="5">එහෙත්, දෙවි සමිඳාණන් වහන්සේ බාලාම්ට ඇහුම්කන් නුදුන් සේක. උන් වහන්සේ ඔබට ප්‍රේම කළ බැවින්, ඒ සාපය ආශීර්වාදයකට හැරෙවූ සේක.</verse>
				<verse number="6">ඔබ දිවි ඇති තාක් ඔවුන්ගේ සෞභාග්‍යය සහ ශුභසිද්ධිය සඳහා කිසිවක් නොකළ යුතු ය.</verse>
				<verse number="7">“ඒදොම් ජාතිකයෙකු, ඔබේ සහෝදරයෙකු බැවින්, ඒදොම් ජාතිකයෙකු හෙළා නොදැකිය යුතු ය. මිසර දේශයේ විදේශිකයෙකු මෙන් ඔබ විසූ බැවින් මිසර ජාතිකයෙකු හෙළා නොදැකිය යුතු ය.</verse>
				<verse number="8">තුන් වන පරම්පරාවේ දී ඔවුන්ට ලැබෙන දරුවන් හට සමිඳාණන් වහන්සේගේ සභාවට යා හැකි ය.”</verse>
				<verse number="9">“ඔබේ සතුරන්ට විරුද්ධ ව සටනට එළඹෙන විට, කඳවුරු තුළ හැම නපුරු ක්‍රියාවකින් වැළකී සිටිය යුතු ය.</verse>
				<verse number="10">රාත්‍රියේ ධාතු මෝචනයෙන් අපවිත්‍ර වුණ යමෙකු කඳවුරෙන් පිටතට ගොස් ඊට නොපැමිණිය යුතු ය.</verse>
				<verse number="11">සවස් කාලයේ දී ඔහු ජලයෙන් තමා සෝදාගත් පසු, ඉර බැස ගිය විට කඳවුර තුළට ඔහු ආපසු පැමිණිය යුතු ය.</verse>
				<verse number="12">“මලපහ කිරීම සඳහා කඳවුරෙන් පිටත ස්ථානයක් තිබිය යුතු ය.</verse>
				<verse number="13">ඔබේ බඩු භාණ්ඩ අතරේ හාරන හැන්දක් විය යුතු ය. මලපහ කිරීමට උවමනා වූ විට හාරන හැන්දෙන් වළක් හාරා, ඊට මලපහ කර, ආපසු හැරී, එය වසාදැමිය යුතු ය.</verse>
				<verse number="14">ඔබ ගළවාගැනීමටත්, ඔබේ සතුරන් පරාජය කිරීමටත් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කඳවුර මැද වැඩ සිටින සේක. එබැවින් කඳවුර පවිත්‍ර ව තබාගත යුතු ය. එහි අපවිත්‍ර යමක් උන් වහන්සේ දුටුවොත් උන් වහන්සේ ඔබෙන් අහක් ව යන සේක.”</verse>
				<verse number="15">“තම ස්වාමියාගෙන් ගැළවී ඔබ වෙත පැමිණි වහලෙකු ඔබ යළි ස්වාමියා හට පාවා නොදිය යුතු ය.</verse>
				<verse number="16">නගරය තුළ ඔහු කැමැති පරිදි, තෝරාගන්න ස්ථානයක ඔබ සමඟ වාසය කරනු ඇත. ඔබ ඔහුට පීඩා නොකළ යුතු ය.</verse>
				<verse number="17">“ඉශ්රායෙල්වරුන්ගේ දූවරුන් අතර දේවාල වෙසඟනක හෝ ඉශ්රායෙල් පුත්‍රයන් අතර දේවාල සල්ලාලයෙකු හෝ නොසිටිය යුතු ය.</verse>
				<verse number="18">එවැනි අයගේ කුලිය වශයෙන් ගත් මිලමුදල් ද ඔබේ බාර ඔප්පු කිරීම සඳහා දෙවි සමිඳාණන් වහන්සේගේ ගෘහයට නොගෙනා යුතු ය. මේ දෙවර්ගයේ ම මුදල් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පිළිකුලකි.</verse>
				<verse number="19">“ඔබේ සහෝදරයාට පොළියට කිසිවක් ණයට දිය යුතු නොවේ. පොළී ගැනීම සඳහා මුදල් හෝ කෑම බීම හෝ අන් කිසිවක් හෝ දීම නොකළ යුතු ය.</verse>
				<verse number="20">විදේශිකයෙකුට පොළියට යමක් ණයට දිය හැක. එහෙත්, ඔබේ සහෝදර ජනතාවට එලෙස දිය යුතු නොවේ. මේවා ඔබ පිළිපැද්දොත්, ඔබ අයිති කරගන්නට යන දේශයෙහි ඔබේ සියලු වැඩ කටයුතුවල දී දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආසිරි දෙන සේක.</verse>
				<verse number="21">“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබ බාරයක් පොරොන්දු වූ විට, එය ඉටු කිරීමට පමා නොවිය යුතු ය. උන් වහන්සේ එය ඔබෙන් බලාපොරොත්තු වීම සහතික ය. එසේ නොකළොත් එය ඔබට පාපයකි.</verse>
				<verse number="22">බාරයක් නොවීම ඔබට පාපයක් නොවේ.</verse>
				<verse number="23">ඔබ වචනයෙන් පොරොන්දු වූ දේ ඉටු කළ යුතු ය. ඔබ වචනයෙන් පොරොන්දු වූ ස්වේච්ඡා පූජාව, දෙවි සමිඳාණන් වහන්සේට පොරොන්දු වූ ලෙසට ඉටු කළ යුතු ය.</verse>
				<verse number="24">“ඔබේ අසල්වැසියාගේ මිදි වත්තට ඔබ ඇතුළු වුවහොත් ඔබට කැමැති පරිදි ඇති තරමට එහි මිදිපල කත හැකි ය. එහෙත්, ඒවා මල්ලක දමා නොගත යුතු ය.</verse>
				<verse number="25">ඔබේ අසල්වැසියාගේ ධාන්‍ය කෙතකට ඇතුළු වූ කල්හි ද එහි කරල් ඔබට අතින් කඩාගත හැකි ය. එහෙත්, ඒ ගොයමට දෑකැත්තක් නොපෙවිය යුතු ය.”</verse>
			</chapter>
			<chapter number="24">
				<verse number="1">“යම් පුරුෂයෙකු කාන්තාවක පාවාගත් පසු, ඇගේ යම්කිසි නොහොබිනාකමක් නිසා ඈට අකමැති වුවහොත්, දික්කසාද පත්‍රයක් ලියා, ඇය අතට දී, තම ගෙදරින් ඇය පිට කළ යුතු ය.</verse>
				<verse number="2">එම ගෙදරින් පිටතට ගිය පසු, ඈට වෙන පුරුෂයෙකුගේ බිරිඳක විය හැකි ය.</verse>
				<verse number="3">මේ සැමියා ද ඇයට අකමැති වුවහොත් දික්කසාද පත්‍රයක් ලියා, ඇය අතට දී, සිය ගෙදරින් ඇය පිට කළ යුතු ය. ඇය සරණ පාවාගත් මේ සැමියා මියගියොත්,</verse>
				<verse number="4">ඇය දූෂ්‍ය වී සිටින හෙයින්, ඇය පිට කළ පළමු ස්වාමි පුරුෂයාට තම බිරිඳ කොට ඇය පාවාගත නොහැකි ය. මෙසේ කිරීම සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිකුලකි. මෙසේ කර ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන දේශයෙහි ජනතාව පිට වරද නොපැවරිය යුතු ය.</verse>
				<verse number="5">“යම් පුරුෂයෙකු අලුතෙන් බිරිඳක පාවාගත් පසු, ඔහු යුද්ධයට පිටත් ව නොයා යුතු ය. වෙනත් රාජකාරි සම්බන්ධ වගකීමක් ඔහුට නොපැවරිය යුතු ය. අවුරුද්දක් ඔහු ගෙදර නැවතී සිට තමා පාවාගත් බිරිඳ සතුටු කළ යුතු ය.”</verse>
				<verse number="6">“කිසිවෙකු සෙක්කුවක් හෝ ඇඹරුම් ගලක් හෝ උකස වශයෙන් නොගත යුතු ය. එසේ කිරීම යමෙකුගේ ජීවිතය උකසට ගන්නාක් මෙනි.</verse>
				<verse number="7">“යමෙකු ඉශ්රායෙල් ජනයා අතර කෙනෙකු පැහැරගෙන ඔහු වහලෙකු කළොත් හෝ ඔහු විකුණුවොත් හෝ එවැනි සොරෙකු මරාදැමිය යුතු ය. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු ය.</verse>
				<verse number="8">“බෝවෙන චර්ම රෝගයක් සම්බන්ධයෙන් ලෙවී ජාතික පූජකවරුන් ඔබට උගන්වන සියල්ල හරියාකාර ඉටු කිරීමට සැලකිල්ල දැක්විය යුතු ය. මා ඔවුන්ට අණ දුන් ප්‍රකාර ඔබ ඒවා පිළිපැදීමට වගබලාගත යුතු ය.</verse>
				<verse number="9">ඔබ මිසර දේශයෙන් නික්ම ආ පසු අතරමඟ දී දෙවි සමිඳාණන් වහන්සේ මීරියම් නම් කාන්තාවට කළ දේ සිහි කරන්න.</verse>
				<verse number="10">“ඔබේ සහෝදරයාට යමක් ණයට දුන් පසු, ඒ වෙනුවට උකසක් ගැනීම සඳහා ඔහුගේ ගෙදරට ඇතුළු නොවිය යුතු ය.</verse>
				<verse number="11">ඔබ පිටත සිටින විට ඔබ යමක් ණයට දුන් තැනැත්තා උකස රැගෙන විත් ඔබට දෙනු ඇත.</verse>
				<verse number="12">යමෙක් දිළිඳු නම්, ඔහු ඔබට උකසට දුන් වස්ත්‍රය රෑ කාලයේ තබා නොගත යුතු ය.</verse>
				<verse number="13">කෙසේ හෝ වේවා, ඔහුට එම වස්ත්‍රය පොරවාගෙන නිදාගැනීමට හැකි වනු පිණිස ඉර බැස යන විට එම උකස් වස්ත්‍රය ඔහුට භාර දිය යුතු ය. එවිට ඔහු ඔබට ආසිරි දෙනු ඇත. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි එය ධර්මිෂ්ඨ ක්‍රියාවක් වන්නේ ය.</verse>
				<verse number="14">“ඔබේ සහෝදර ජනතාවගෙන් හෝ ඔබේ දේශයේ නගරවල විදේශීන්ගෙන් හෝ දිළිඳු, අසරණ කුලීකරුවෙකුට පීඩා නොකළ යුතු ය.</verse>
				<verse number="15">ඉර බැස යාමට පෙර ඔහුගේ දවසේ කුලිය ඔහුට ගෙවිය යුතු ය. ඔහු දිළිඳු නිසා, ඔහු ඒ කුලිය බලාපොරොත්තුවෙන් සිටියි. එසේ නොගෙව්වහොත් ඔහු සමිඳාණන් වහන්සේට මොරගසනු ඇත, එය ඔබට පාපයක් වන්නේ ය.</verse>
				<verse number="16">“දරුවන්ගේ වැරදිවලට ඔවුන්ගේ පියවරුන් ද පියවරුන්ගේ වැරදිවලට ඔවුන්ගේ දරුවන් ද මරණයට පත් නොකළ යුතු ය. හැම කෙනෙක් ම තම තමාගේ ම අපරාධවලට මරණයට පත් කරනු ලැබේ.</verse>
				<verse number="17">“විදේශිකයන්ගේ ද අනාථයන්ගේ ද අයිතිවාසිකම් පැහැර නොගත යුතු ය. වැන්දඹුවකගේ වස්ත්‍ර ද උකසට නොගත යුතු ය.</verse>
				<verse number="18">“ඔබ මිසර දේශයේ වහලෙකු ව සිටි බවත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ මුදාගත් බවත් සිහි කළ යුතු ය. මා ඔබට මේ දේවල් අණ කරන්නේ එබැවින් ය.</verse>
				<verse number="19">“ඔබ කෙතේ අස්වැන්න නෙළාගත් පසු, ගොයම් මිටියක් අමතක වුණොත් එය ගැනීමට ආපසු නොයන්න. එය විදේශිකයන්ට ද අනාථයන්ට ද වැන්දඹුවන්ට ද අයිති විය යුතු ය. ඔබ මෙසේ කළොත්, ඔබේ සියලු වැඩපලවල දී දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක.</verse>
				<verse number="20">ඔලීව ගස්වලින් පල නෙළන විට ද ඉතුරු වන ගෙඩි සොයාගෙන ආපසු නොයන්න. එය විදේශිකයන්ට ද අනාථයන්ට ද වැන්දඹුවන්ට ද අයිති විය යුතු ය.</verse>
				<verse number="21">මිදි වත්තේ මිදි එකතු කරගන්න විට ද ඉතිරි වන ඒවා නැවත කපා නොගන්න. ඒවා විදේශිකයන්ට ද අනාථයන්ට ද වැන්දඹුවන්ට ද අයිති විය යුතු ය.</verse>
				<verse number="22">මිසර දේශයේ දී ඔබ වහලුන් ව සිටි බව සිහි කරන්න. මේ දේවල් මා ඔබට අණ කරන්නේ එබැවින් ය.</verse>
			</chapter>
			<chapter number="25">
				<verse number="1">“මිනිසුන් අතර ආරාවුලක් හටගෙන, උසාවියට ගිය විට, විනිශ්චයකරුවන් ආරාවුල් විසඳමින්, නිවැරදිකරු නිදොස් කොට, වරදකරුට දඬුවම් දිය යුතු ය.</verse>
				<verse number="2">වරදකරු පහර ලැබීමට සුදුසු නම්, විනිශ්චයකරු ඔහු බිම බාවා, වරදේ බරපතලකම හැටියට, තමා ඉදිරිපිට දී නියමිත පහර ගණන ඔහුට දෙන්නට සැලැස්විය යුතු ය.</verse>
				<verse number="3">ඔහුට කස පහර සතළිසක් දෙත හැක. ඊට වඩා නොදිය යුතු ය. ඊට වැඩි ගණනක් දුන්නොත්, ඔබ ඔබේ සහෝදරයාට ප්‍රසිද්ධියේ අවමානයක් කරන්නෙහි ය.</verse>
				<verse number="4">“ගොයම් පාගන ගවයාගේ කට නොබැඳිය යුතු ය.”</verse>
				<verse number="5">“එකට වාසය කරන සහෝදරයන් අතරෙන් එක් කෙනෙකු පුතෙකු නැතුව මළොත්, මියගිය තැනැත්තාගේ බිරිඳ, පිට පවුලක කෙනෙකු සමඟ විවාහ නොවිය යුතු ය. ඇගේ සැමියාගේ සහෝදරයා ඇය සරණ පාවාගෙන, ඇය වෙත පිවිස, සැමියාගේ සහෝදරයෙකු විසින් ඈ කෙරෙහි කළ යුතු යුතුකම ඔහු ඉටු කළ යුතු ය.</verse>
				<verse number="6">තවද, මියගිය සහෝදරයාගේ නම ඉශ්රායෙල් ජනයා අතර නොමැකී පවතින පිණිස ඈට උපදින කුලුඳුලා මියගිය සහෝදරයාගේ නම ගත යුතු ය.</verse>
				<verse number="7">එහෙත්, ඒ තැනැත්තා මියගිය තම සහෝදරයාගේ බිරිඳ පාවා ගන්නට අකමැති නම්, ඈ වාසල් දොරකඩ සිටින ප්‍රජා මූලිකයන් වෙත ගොස්, ‘මාගේ සැමියාගේ සහෝදරයා, ඔහුගේ මියගිය සහෝදරයාට ඉශ්රායෙල් ජනයා අතර නාමයක් රඳවාගැනීම ප්‍රතික්ෂේප කරයි. මාගේ සැමියාගේ සහෝදරයාට පැවරෙන යුතුකම් ඔහු ඉටු කරන්නේ නැතැ’යි කිව යුතු ය.</verse>
				<verse number="8">එවිට නුවර ප්‍රජා මූලිකයන් ඔහු කැඳවා, ඔහුට කතා කළ යුතු ය. ‘මම ඇය සරණ පාවාගන්නට අකමැත්තෙමි’යි ඔහු තදින් කියා සිටින්නේ නම්,</verse>
				<verse number="9">ඔහුගේ සහෝදරයාගේ බිරිඳ ප්‍රජා මූලිකයන් බලා සිටිය දී ම ඔහු වෙත පැමිණ ඔහුගේ පාදයෙන් සෙරෙප්පුවක් ගලවා, ඔහුගේ මුහුණට කෙළ ගසා, ‘තම සහෝදරයාට පෙළපතක් ඇති නොකරන මිනිසාට මෙසේ කළ යුතු ය’යි කිව යුතු ය.</verse>
				<verse number="10">‘සෙරෙප්පුව ගලවන ලද තැනැත්තාගේ පවුල’ කියා ඉශ්රායෙල් ජනතාව අතර ඔහුගේ පවුල නම් කළ යුතු වේ.”</verse>
				<verse number="11">“මිනිසුන් දෙදෙනෙකු තමන් අතර දබර කරන කල එක් කෙනෙකුගේ බිරිඳ, තම සැමියාට පහර දෙන අනික් තැනැත්තාගෙන් ඔහු බේරාගැනීමට ළං වී අත දිගු කොට ඒ තැනැත්තාගේ රහසඟ ඇල්ලුවොත්,</verse>
				<verse number="12">ඇගේ අත කපාදැමිය යුතු ය. ඔබ ඇයට අනුකම්පා නොකළ යුතු ය.</verse>
				<verse number="13">“බර එකක් සහ සැහැල්ලු එකක් වශයෙන් විවිධ හොර කිරුම් පඩි ඔබේ මල්ලේ තබා නොගත යුතු ය.</verse>
				<verse number="14">ලොකු එකක් සහ කුඩා එකක් වශයෙන් විවිධ හොර මිමි ඔබේ ගෙදර තබා නොගත යුතු ය.</verse>
				<verse number="15">හරි කිරුම් පඩි ද හරි මනින මිමි ද ඔබ ළඟ තබාගත යුතු ය. මෙසේ කළහොත්, දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයේ දී ඔබට දීර්ඝායුෂ ලැබෙන්නේ ය.</verse>
				<verse number="16">මෙවැනි වංචනික දේවල් සහ අසාධාරණ දේවල් කරන්නෝ සමිඳාණන් වහන්සේට පිළිකුලකි.”</verse>
				<verse number="17">“මිසර දේශයෙන් ඔබ නික්ම එන විට මාර්ගයේ දී අමලෙක්වරුන් ඔබට කළ දේ සිහි කරන්න.</verse>
				<verse number="18">ඔවුන් දෙවියන් වහන්සේට ගරුබිය නොපෙන්වූ බැවින්, මාර්ගයේ දී ඔවුන් ඔබට හමු වී, ඔබ ක්ලාන්ත ව වෙහෙස මහන්සි වී සිටිය දී, ඔබට පිටුපසින් පැමිණ දුබල අයට ඔවුන් පහර දුන් හැටි සිහි කරන්න.</verse>
				<verse number="19">එබැවින් දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුමයක් වශයෙන් අයිති කර දෙන්නට යන දේශයෙහි ඔබ අවටින් සිටින සියලු සතුරන්ගෙන් ඔබට විවේකය දුන් පසු අමලෙක්වරුන් සිහි කිරීම පවා මිහි පිටින් මකාදැමිය යුතු ය. මෙය අමතක නොකරන්න.”</verse>
			</chapter>
			<chapter number="26">
				<verse number="1">“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ උරුමයක් වශයෙන් ඔබට අයිති කර දෙන්නට යන දේශයට ඔබ පැමිණ, එහි පදිංචි වූ පසු,</verse>
				<verse number="2">උන් වහන්සේ දුන් දේශයෙහි පොළොවේ සෑම පලදාවකින් නාඹුල් පල ගෙන, ඒවා පැසක දමා උන් වහන්සේ සිය නාමය පිහිටුවීමට තෝරාගන්න ස්ථානයට යා යුතු ය.</verse>
				<verse number="3">ඔබ එකල සිටින පූජකවරයා වෙත ගොස් මෙසේ කිව යුතු ය: ‘අපට දෙනු සඳහා සමිඳාණන් වහන්සේ අපේ පියවරුන්ට පොරොන්දු වූ රටට මා පැමිණි බව මම අද දින දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ප්‍රකාශ කරමි.’</verse>
				<verse number="4">පූජකවරයා ද පැස ඔබේ අතින් ගෙන දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය ඉදිරිපිට එය තැබිය යුතු ය.</verse>
				<verse number="5">“ඉන්පසු ඔබ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරිපිට මෙසේ කිව යුතු ය: ‘මාගේ ආදි පියා තැනින් තැන සංචාරය කළ අරමීය ජාතිකයෙකි. ඔහු කුඩා පිරිසක් කැටුව මිසරයට ගොස්, එහි කලකට පදිංචි වී මහත් බලසම්පන්න, ගණනින් විශාල ජාතියක් විය.</verse>
				<verse number="6">මිසරවාසීහු ද නපුරු ලෙස ක්‍රියා කරමින්, අපට හිංසා පීඩා කොට අප දැඩි වහල්කමට පත් කළහ.</verse>
				<verse number="7">අපේ ආදි පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට අප මොරගැසූ විට සමිඳාණන් වහන්සේ අපට සවන් දී අපේ දුක් කරදර ද හිංසා පීඩා ද වෙහෙස මහන්සි ද දෙස බැලූ සේක.</verse>
				<verse number="8">සමිඳාණන් වහන්සේ සිය හස්තය දිගු කොට, බාහු බලය පා, බියජනක අරුමපුදුම දේවලින් සහ හාස්කම්වලින් මිසර දේශයෙන් අප පිටතට ගෙනා සේක.</verse>
				<verse number="9">උන් වහන්සේ අප මෙහි ගෙනවුත්, කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන මේ දේශය අපට දුන් සේක.</verse>
				<verse number="10">සමිඳුනි, දැන් බලනු මැනව; ඔබ මට දුන් දේශයේ නාඹුල් පල මම ගෙනැවිත් සිටිමි.’ මෙසේ කියා දෙවි සමිඳාණන් ඉදිරියෙහි එය තබා උන් වහන්සේට නමස්කාර කළ යුතු ය.</verse>
				<verse number="11">දෙවි සමිඳාණන් වහන්සේ ඔබටත්, ඔබේ පවුලටත් දානය කළ සියලු යහපත් දේවල් ගැන ඔබත්, ලෙවීවරුත්, ඔබ සමඟ වසන විදේශිකයනුත් ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.</verse>
				<verse number="12">“දසයෙන් කොටස දෙන අවුරුද්ද වන තෙ වන අවුරුද්දේ දී, ඔබේ අස්වනු සියල්ලෙන් දසයෙන් කොටස වෙන් කොට, ලෙවීවරයා ද විදේශිකයා ද අනාථයා ද වැන්දඹුව ද ඔබේ නගරය තුළ එය අනුභව කොට තෘප්තිමත් වූ පසු</verse>
				<verse number="13">දෙවි සමිඳාණන් වහන්සේට මෙසේ කිව යුතු ය: ‘ඔබ මට දුන් සියලු ආඥා ප්‍රකාර, කැප කළ දේ සියල්ල මම ගෙදරින් ගෙනවුත්, ලෙවීවරයාට ද විදේශිකයාට ද අනාථයාට ද වැන්දඹුවට ද දුනිමි. ඔබේ ආඥා මම කඩ නොකෙළෙමි. ඒවා අමතක නොකෙළෙමි.</verse>
				<verse number="14">මා වැලපෙන සමයේ ද මම එයින් කිසිවක් නොකෑවෙමි. අපවිත්‍ර ව සිටි විට එයින් කිසිවක් ඉවත් නොකෙළෙමි. එයින් කිසිවක් මළවුන්ට ඔප්පු නොකෙළෙමි. මම මාගේ දෙවි සමිඳාණන් වහන්සේට කීකරු වී, ඔබ වහන්සේ මට අණ කළ සියල්ල ප්‍රකාර කෙළෙමි.</verse>
				<verse number="15">ඔබේ ශුද්ධස්ථානය වන ස්වර්ගයේ සිට බලා, ඔබේ සෙනඟ වන ඉශ්රායෙල් ජනතාවට ද ඔබ අපේ පියවරුන්ට දිවුළ ප්‍රකාර, අපට දුන්, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන මේ දේශයට ද ආශීර්වාද කරනු මැනව.’ “</verse>
				<verse number="16">“මෙදින දෙවි සමිඳාණන් වහන්සේ මේ නීති හා නියෝග පිළිපැදීමට ඔබට අණ කරන සේක. එබැවින් ඔබ, ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු සිතින් ද ඒවාට අවනත වී පිළිපැදිය යුතු ය.</verse>
				<verse number="17">ඔබ, සමිඳාණන් වහන්සේ ඔබේ දෙවියන් වහන්සේ බව අද පිළිගෙන, දෙවි මඟ යාමටත්, උන් වහන්සේගේ නීති, නියෝග සහ අණපණත් පිළිපැදීමටත්, උන් වහන්සේට කීකරුවීමටත් පොරොන්දු විය යුතු ය.</verse>
				<verse number="18">ඔබ උන් වහන්සේගේ අණපණත් සියල්ල පිළිපදින්නහු නම්, උන් වහන්සේ පොරොන්දු වූ ප්‍රකාර, ඔබ තමන් වහන්සේගේ විශේෂ සෙනඟක් මෙන් අද දින පිළිගන්න බව ප්‍රකාශ කරන සේක.</verse>
				<verse number="19">තවද, දෙවි සමිඳාණන් වහන්සේ වදාළ ප්‍රකාර, ඔබ උන් වහන්සේට කැප වූ ජනතාවක් වන පිණිස, තමන් මැවූ අන් සියලු ජාතීන්ට වඩා කීර්තියෙන් ද මහිමයෙන් ද ගෞරවයෙන් ද ඔබ උසස් කරන සේක.”</verse>
			</chapter>
			<chapter number="27">
				<verse number="1">මෝසෙස් ඉශ්රායෙල් ජනතාවගේ ප්‍රජා මූලිකයන් කැටුව සෙනඟට මෙසේ කී ය: “අද දින මා ඔබට නියම කළ සියලු අණපණත් පිළිපදින්න.</verse>
				<verse number="2">ජොර්දාන් ගඟෙන් එතෙර වී, දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන්න යන දේශයට ඔබ ගිය පසු, විශාල ගල් කණු සිටුවා, ඒවාට හුණු බදාමක් ගෑ යුතු ය.</verse>
				<verse number="3">මෙසේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට පොරොන්දු වූ ප්‍රකාර, උන් වහන්සේ ඔබට දෙන්න යන, කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන දේශයට එතෙර වී, ඇතුළු වූ පසු මේ ආඥාව මුළුමනින් ම ඒ ගල්වල කෙටිය යුතු ය.</verse>
				<verse number="4">ජොර්දාන් ගඟින් එතෙර වූ පසු මා ඔබට අණ කරන, හුණු බදාම යෙදු ඒ ගල් කණු සිටුවිය යුත්තේ ඒබාල් කන්දේ ය.</verse>
				<verse number="5">එහි දී දෙවි සමිඳාණන් වහන්සේට, ගලින් පූජාසනයක් ගොඩනැගිය යුතු ය. එහෙත්, කිසි ම යකඩ ආයුධයක් ඒ ගල්වලට නොතැබිය යුතු ය.</verse>
				<verse number="6">දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය නොකැපූ ගලින් ඉදි කළ යුතු ය. උන් වහන්සේගේ මහිමයට ඒ පූජාසනය මත දවන යාග පූජා ඔප්පු කළ යුතු ය.</verse>
				<verse number="7">සහභාගිකමේ පූජා ද එහි ඔප්පු කොට, ඒවා එහි අනුභව කොට, දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.</verse>
				<verse number="8">තවද, ඒ ගල් කණු මත මේ ආඥාව සම්පූර්ණයෙන් ම පැහැදිලි ව කෙටිය යුතු ය.”</verse>
				<verse number="9">නැවතත් මෝසෙස් සහ ලෙවී පූජකවරු ඉශ්රායෙල් ජනතාව අමතමින්, “ඉශ්රායෙල් ජනයෙනි, සාවධානයෙන් සවන් දෙන්න. අද දින ඔබ හැම දෙවි සමිඳාණන් වහන්සේගේ සෙනඟ වූවහු ය.</verse>
				<verse number="10">එබැවින් ඔබ හැම දෙවි සමිඳාණන් වහන්සේට කීකරු වී මා මෙදින නියම කරන උන් වහන්සේගේ ආඥා ද නීති නියෝග ද ඉටු කළ යුතු ය”යි කී හ.</verse>
				<verse number="11">එදින ම මෝසෙස් සෙනඟට අණ කරමින් මෙසේ කී ය:</verse>
				<verse number="12">“ජොර්දාන් ගඟෙන් එතෙර වූ පසු, ගෙරිසීම් කන්ද මත, සෙනඟට ආශීර්වාද කරන පිණිස සිමියොන් ද ලෙවී ද ජුදා ද ඉස්සාකර් ද ජෝසෙප් සහ බෙන්ජමින් ද යන අයගේ ගෝත්‍ර සිටිය යුතු ය.</verse>
				<verse number="13">ඒබාල් කන්ද මත සෙනඟට සාප කරන පිණිස, රූබන් සහ ගාද් ද ආෂෙර් සහ සාබුලොන් ද දාන් සහ නප්තලී ද යන අයගේ ගෝත්‍ර සිටිය යුතු ය.</verse>
				<verse number="14">ඉන්පසු ලෙවීවරු, මුළු ඉශ්රායෙල් ජනතාව අමතමින්, හඬ නඟා මෙසේ කිව යුතු ය:</verse>
				<verse number="15">‘සමිඳාණන් වහන්සේට පිළිකුලක් වන ශිල්පියෙකුගේ හස්ත කර්මාන්තයක් ද වන නෙළූ රූපයක් හෝ වාත්තු පිළිමයක් හෝ සාදා එය රහසින් තබාගන්න මිනිසාට සාප වේ වා!’ මුළු සෙනඟ පිළිතුරු දෙමින්, ‘ආමෙන්’ කිව යුතු ය.</verse>
				<verse number="16">‘තම මවට හෝ පියාට හෝ අගෞරව කරන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.</verse>
				<verse number="17">‘තම අසල්වැසියාගේ ඉඩමේ මායිම් ඉවත් කරන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.</verse>
				<verse number="18">‘අන්ධයා මංමුළා කරවන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.</verse>
				<verse number="19">‘විදේශිකයාගේ ද අනාථයාගේ ද වැන්දඹුවන්ගේ ද අයිතිවාසිකම් හෙළා දමන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.</verse>
				<verse number="20">‘තම පියාගේ බිරිඳ සමඟ සයනය කොට, පියාට නින්දා කරන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.</verse>
				<verse number="21">‘යම්කිසි මෘගයෙකු සමඟ ලිංගික සම්බන්ධකම් ඇති කරගන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.</verse>
				<verse number="22">‘තම සොහොයුරිය හෝ තම පියාගේ දුව හෝ තම මවගේ දුව හෝ සමඟ සයනය කරන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.</verse>
				<verse number="23">‘තම නැන්දම්මා සමඟ සයනය කරන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.</verse>
				<verse number="24">‘තම අසල්වැසියා රහසින් මරා දමන්නාට සාප වේවා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.</verse>
				<verse number="25">‘නිර්දෝෂී යමෙකු මරනු පිණිස අල්ලස් ගන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.</verse>
				<verse number="26">‘මේ නීතිය පිණිස එය සම්පූර්ණයෙන් අනුමත නොකරන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.</verse>
			</chapter>
			<chapter number="28">
				<verse number="1">“මා අද දින ඔබට නියම කරන අණපණත් සියල්ල පිළිපදින පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට ඔබ කීකරු වන්නහු නම්, උන් වහන්සේ මිහි පිට සියලු ජාතීන්ට වඩා ඔබ උසස් කරන සේක.</verse>
				<verse number="2">උන් වහන්සේගේ හඬට කීකරු වන්නහු නම්, පහත දැක්වෙන ආශීර්වාද සියල්ල ඔබ පිට පැමිණ ඔබ සමඟ වන්නේ ය.</verse>
				<verse number="3">“ඔබේ නගරයේ දී ඔබ ආශීර්වාද ලද්දෝ වන්නහු ය. ඔබේ කෙත්වතුවල දී ඔබ ආශීර්වාද ලද්දෝ වන්නහු ය.</verse>
				<verse number="4">“ඔබේ දරුසම්පතට ද භවභෝගසම්පතට ද ගවයන්ගේ සහ එළු බැටළුවන්ගේ බෝ වීමට ද ආශීර්වාද ලැබෙන්නේ ය.</verse>
				<verse number="5">“ඔබේ පැසට ද පිටි අනන බඳුනට ද ආශීර්වාද ලැබෙන්නේ ය.</verse>
				<verse number="6">“ඔබ ඇතුළට එන විට ද පිටතට යන විට ද උන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක.</verse>
				<verse number="7">“ඔබට විරුද්ධ ව නැඟිටින ඔබේ සතුරන්, ඔබ ඉදිරියෙහි පරාජය වීමට සමිඳාණන් වහන්සේ සලසන සේක. ඔව්හු ඔබට විරුද්ධ ව එක මඟකින් අවුත් හත් මඟකින් ඔබෙන් පලා යන්නෝ ය.</verse>
				<verse number="8">“ඔබේ ගබඩාවලට ද ඔබේ සියලු වැඩකටයුතුවලට ද සමිඳාණන් වහන්සේ ආශීර්වාද කරන සේක. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයෙහි ඔබට ආශීර්වාද කරන සේක.</verse>
				<verse number="9">“ඔබ උන් වහන්සේගේ ආඥා පිළිපැද දෙවි මඟ යන්නහු නම්, දෙවි සමිඳාණන් වහන්සේ දිවුළ ප්‍රකාර ඔබ උන් වහන්සේට කැප වූ සෙනඟක් කරගන්නා සේක.</verse>
				<verse number="10">උන් වහන්සේගේ නාමය ඔබ දරන බව දුටු විට, මිහි පිට සියලු ජාතීහු ඔබට බිය වන්නෝ ය.</verse>
				<verse number="11">සමිඳාණන් වහන්සේ ඔබට දෙනු පිණිස ඔබේ පියවරුන්ට දිවුළ දේශයේ දී උන් වහන්සේ ඔබට දරුසම්පත ද ගවසම්පත ද භවහෝගසම්පත ද බහුල ව දානය කරන සේක.</verse>
				<verse number="12">උන් වහන්සේ තම ඉසුරු බර අහස් ගබඩා විවෘත කොට, නිසි කලට කෙත්වතුවලට වැසි වස්වන සේක. ඔබ කරන වැඩකටයුතු සියල්ලට ආශීර්වාද කරන සේක. ඔබ බොහෝ ජාතීන්ට ණයට දෙන්නහු ය; ණයට ඉල්ලා නොගන්නහු ය.</verse>
				<verse number="13">මා අද දින ඔබට අණ කරන දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥාවලට කීකරු වී, ඔබ ඒවා පිළිපදින්නහු නම්, සමිඳාණන් වහන්සේ ඔබ අන්තිමයන් නොකොට, ප්‍රධානීන් කරන සේක; පහත් නොකොට උසස් කරන සේක.</verse>
				<verse number="14">මා ඔබට මෙදින නියම කරන දේවල් ඔබ අකුරට ම පිළිපැදිය යුතු ය. අන් දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් නොකළ යුතු ය.”</verse>
				<verse number="15">“මා අද දින ඔබට නියම කරන දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥා ද නීති හා නියෝගයන් ද පිළිපදිනු සඳහා උන් වහන්සේගේ හඬට කීකරු නොවන්නහු නම්, පහත දක්වන සාප සියල්ල ද ඔබ වෙත පැමිණ, ඔබ සමඟ පවතින්නේ ය.</verse>
				<verse number="16">“ඔබේ නගරවල දී ඔබ සාප ලද්දෝ වන්නහු ය. ඔබේ ග්‍රාමයේ දී සාප ලද්දෝ වන්නහු ය.</verse>
				<verse number="17">“ඔබේ පැසට ද පිටි අනන බඳුනට ද සාප ලැබෙන්නේ ය.</verse>
				<verse number="18">“ඔබේ දරුසම්පතට ද භවභෝගසම්පතට ද ගවසම්පතට හා එළු බැටළු පැටවුන්ට ද සාප ලැබෙන්නේ ය.</verse>
				<verse number="19">“ඔබ එන විට ද යන විට ද සාප ලද්දෝ වන්නහු ය.</verse>
				<verse number="20">“ඔබේ නපුරු ක්‍රියාවලින් ඔබ සමිඳාණන් වහන්සේ අත්හළ නිසා උන් වහන්සේ ඔබ නාස්ති වී, විගස වැනසී යන තෙක් ඔබටත් ඔබේ වැඩකටයුතු සියල්ලටත් සාපය ද වියවුල් ද තර්ජන ද පමුණුවන සේක.</verse>
				<verse number="21">ඔබ අයිති කරගන්නට යන දේශයෙන් ඔබ නැති කරදමන තෙක් උන් වහන්සේ වංසගත පිට වසංගත ඔබට පමුණුවන සේක.</verse>
				<verse number="22">සමිඳාණන් වහන්සේ ක්ෂය රෝගය සහ උණ ද ඉදිමුම සහ උණසන්නිපාතය ද ඔබට වැළඳෙන්න සලස්වා පීඩා කරන සේක. ඔබේ පලදාවන් නියඟයෙන් ද කොළ රෝගයෙන් සහ හතු රෝගයෙන් ද වනසාලන සේක. ඔබ නාස්ති වී යන තෙක් ඒවා ඔබ ලුහුබැඳ එනු ඇත.</verse>
				<verse number="23">ඉහළින් ඇති අහස පිත්තල මෙන් වියළී ගොස් වැසි නොවසිනු ඇත. පහළින් ඇති පොළොව යකඩ මෙන් දැඩි වෙනු ඇත.</verse>
				<verse number="24">ඔබ වැනසී යන තෙක් උන් වහන්සේ දේශය පුරා වැසි, වැලි කුණාටු හා දූවිලි බවට පත් කර අහසින් හමන්නට සලසන සේක.</verse>
				<verse number="25">“සමිඳාණන් වහන්සේ ඔබේ සතුරන් ඉදිරියෙහි ඔබ පරාජය වන්නට සලසන සේක. ඔබ ඔවුන්ට විරුද්ධ ව එක මඟකින් අවුත් හත් මඟකින් පලා යන්නහු ය. මිහි පිට සියලු රාජධානීන්හි වැසියන්ට ඔබ ගොරතර භීතියක් වන්නහු ය.</verse>
				<verse number="26">ඔබේ මළකඳන් අහසේ පක්ෂීන්ටත්, පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේ ය. උන් බියගන්වා එලවාදැමීමට කිසිවෙකු නොවනු ඇත.</verse>
				<verse number="27">සුව විය නොහැකි ලෙස සමිඳාණන් වහන්සේ ඔබට මිසරයේ වූ ගඩු රෝග ද පිළිකා ද වණ ද කුෂ්ඨ සහ හොරි ද වැළඳෙන්නට සලසන සේක.</verse>
				<verse number="28">උන් වහන්සේ ඔබ උමතු බවට පමුණුවා, ඔබේ ඇස් අන්ධ කොට, ඔබ අවුල් වියවුල් කරන සේක.</verse>
				<verse number="29">අන්ධයා අඳුරේ අතපතගාමින් යන්නාක් මෙන් ඔබ ද ඉර මුදුන් වේලාවෙහි අතපතගාමින් යන්නහු ය. ඔබ ගන්න පියවර සාර්ථක නොවන්නේ ය. ඔබ නිතර ම පීඩාවටත්, කොල්ලයටත් පාත්‍ර වන නමුත්, කිසිවෙක් ඔබ ගළවානොගන්නේ ය.</verse>
				<verse number="30">“ඔබ බිරිඳකට විවාහ ගිවිසුම් බස් දෙන නමුත්, වෙනත් මිනිසෙකු ඇය සමඟ සයනය කරනු ඇත. ඔබ ගෙයක් ගොඩනඟන නමුත්, එහි ඔබ පදිංචි නොවනු ඇත. ඔබ මිදි වත්තක් වවන නමුත්, එහි පල එකතු නොකරනු ඇත.</verse>
				<verse number="31">ඔබ බලා සිටිය දී ඔබේ ගොනා මරනු ලබන නමුත්, ඔබ උගේ මස් නොකන්නහු ය. ඔබ බලා සිටිය දී ඔබේ කොටළුවා බලහත්කාරයෙන් පැහැරගනු ලබන්නේ ය; ඔබට ආපසු ඌ නොලැබෙනු ඇත. ඔබේ බැටළුවෝ සතුරන් විසින් පැහැරගනු ලබන්නෝ ය. ඔබට උදව් දීමට කිසිවෙක් නොවන්නේ ය.</verse>
				<verse number="32">ඔබේ දරුදැරියෝ අන් ජනතාවකට පාවා දෙනු ලබන්නෝ ය, ඔවුන්ගේ පැමිණීම ගැන දවස පුරා ඔබ ආසාවෙන් බල බලා සිටීමෙන් ඔබේ ඇස් අඳුරු වනු ඇත, ඒ ගැන ඔබට කිසිවක් කළ නොහැකි වන්නේ ය.</verse>
				<verse number="33">ඔබේ ශ්‍රමය සහ වතුපිටිවල පලදාව ඔබ නොහඳුනන ජාතියක් භුක්ති විඳින්නේ ය. ඔබ නිතර ම පීඩා කරනු ලැබ, තැළී පොඩි වී යන්නහු ය.</verse>
				<verse number="34">ඔබ දකින මේ දේවල් නිසා ඔබ උමතු වන්නහු ය.</verse>
				<verse number="35">සමිඳාණන් වහන්සේ ඔබේ යටි පතුල සිට හිස් මුදුන දක්වා සුව විය නොහැකි වණ ද දණහිස්වලත්, පාදවලත් දරුණු ගඩු ද හටගන්නට සලසන සේක.</verse>
				<verse number="36">“සමිඳාණන් වහන්සේ ඔබත්, ඔබ පත් කරගන්න රජුත් ඔබ හෝ ඔබේ පියවරුන් හෝ නොදත් ජාතියක් වෙත ගෙන යන සේක. එහි දී ඔබ ලීයෙන් සහ ගලින් නෙළූ අන් දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කරන්නහු ය.</verse>
				<verse number="37">උන් වහන්සේ ඔබ පමුණුවන සියලු ජාතීන් අතර ඔබ ඔවුන්ගේ මවිතයට හේතු වනු ඇත. ඔව්හු ඔබ සමච්චලයට ද උපහාසයට ද ලක් කරන්නෝ ය.</verse>
				<verse number="38">“ඔබ කෙතට බොහෝ බීජ ගෙන යන නමුත්, අස්වැන්න ස්වල්ප වනු ඇත. මන්ද, පළඟැටියෝ ඒවා කාදමන්නෝ ය.</verse>
				<verse number="39">ඔබ මිදිවතු වවා සශ්‍රීක කරන නමුත්, මිදි පල නෙළාගෙන මිදියුස පානය නොකරන්නහු ය. පණුවෝ ඒවා කාදමන්නෝ ය.</verse>
				<verse number="40">ඔබේ දේශය පුරා ඔලීව ගස් තිබෙන නමුත්, ආලේප කරගැනීමට ඔලීව තෙල් බිඳක් වත් ඔබට ගත හැකි නොවන්නේ ය. එසේ වන්නේ ඔලීව ගෙඩි වැටී යන බැවිනි.</verse>
				<verse number="41">ඔබට දරුදැරියන් ලැබෙන නමුත්, ඔවුන් වහල්කමට යන බැවින් ඔව්හු ඔබට අයිති නොවන්නෝ ය.</verse>
				<verse number="42">ඔබේ රටේ ගස්කොළන් සහ පලදාව සියල්ල පළඟැටියෝ කාදමන්නෝ ය.</verse>
				<verse number="43">“ඔබ අතර සිටින විදේශිකයෝ වැඩිවැඩියෙන් උසස් වන්නෝ ය. ඔබ වැඩිවැඩියෙන් පහත් වන්නහු ය.</verse>
				<verse number="44">ඔහු ඔබට ණයට දෙනවා මිස ඔබ ඔහුට ණයට නොදෙන්නහු ය. ඔහු ප්‍රධානියා වනු ඇත. ඔබ අන්තිමයා වන්නහු ය.</verse>
				<verse number="45">“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ ආඥා නීති හා නියෝගවලට, ඔබ අකීකරු වී ඒවා නොපිළිපැදි බැවින් ඔබ වැනසී යන තෙක් මේ සාප සියල්ල ම ඔබ පිට පැමිණ, ඔබ ලුහුබැඳ ගොස් ඔබ අසු කරගන්නේ ය.</verse>
				<verse number="46">ඒවා ඔබටත්, ඔබේ පරපුරටත් සදහට ම ලකුණක් සහ අරුමපුදුම දෙයක් වනු ඇත.</verse>
				<verse number="47">සියලු සම්පතින් සමෘද්ධ ව සිටිය දී දෙවි සමිඳාණන් වහන්සේට ඔබ ප්‍රීතියෙන් ද සතුටු සිතින් ද සේවය නොකළ බැවින්</verse>
				<verse number="48">උන් වහන්සේ ඔබට විරුද්ධ ව එවන සතුරන්ට සාපිපාසයෙන් ද කයට වතක් නැති ව ද අගහිඟකමින් ද ඔබ සේවය කරන්නහු ය. ඔබ වැනසී යන තෙක් ඔව්හු ඔබේ කරපිට දරුණු වියගසක් තබන්නෝ ය.</verse>
				<verse number="49">ඔබට නොතේරෙන භාෂාවක් කතා කරන ජාතියක්, පොළොවේ බොහෝ දුරස්තර රටක සිට රාජාලියෙකු පියාඹා එන වේගයෙන් ඔබට විරුද්ධ ව පැමිණීමට සමිඳාණන් වහන්සේ සලසන සේක.</verse>
				<verse number="50">ඒ ජාතියට අයත් වූවෝ, රුදුරු මුහුණකින් යුක්ත වූ ද මහල්ලන්ට ගරුසරු නොකරන්නා වූ ද තරුණයන්ට අනුකම්පා නොදක්වන්නා වූ ද ඇත්තෝ වෙති.</verse>
				<verse number="51">ඔව්හු ඔබ වැනසී යන තුරු ඔබේ ගොවිසම්පත ද ගෙවතුවල පලදාව ද කාදමන්නෝ ය. ඔබට ධනධාන්‍ය හෝ මිදියුස හෝ තෙල් හෝ එළු බැටළු පැටවුන් හෝ ගව පට්ටි හෝ ඉතිරි නොකරන්නෝ ය.</verse>
				<verse number="52">ඔබ විශ්වාස තැබූ, උස, ශක්ති සම්පන්න රට පුරා ඇති ප්‍රාකාර බිඳ වැටෙන තුරු සතුරෝ ඔබේ නගර වටලන්නෝ ය. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දුන් රට පුරා තිබෙන ඔබේ නගර සියල්ල ම ඔව්හු වටලන්නෝ ය.</verse>
				<verse number="53">“මෙසේ සතුරන් ඔබේ නගර සියල්ල වටලා, ඔබට අවහිර කිරීමෙන් වන දරුණු පීඩාවේ දී දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දුන්, ඔබ ජනිත කළ ඔබේ දරුදැරියන්ගේ මාංසය ඔබ කන්නහු ය.</verse>
				<verse number="54">ඔබ අතර සිටින ශිෂ්ට සම්පන්න, විනීත ගතිපැවතුම් ඇති මිනිසා පවා, තම සොහොයුරා දෙස ද තම ප්‍රේමවන්ත බිරිඳ දෙස ද ඉතිරි ව සිටින අනෙක් දරුදැරියන් දෙස ද අකාරුණික ලෙස බැල්ම හෙළන්නේ ය.</verse>
				<verse number="55">ඔහු තමා කන තම දරුදැරියන්ගේ මාංසයෙන් කොටසක් කිසිවෙකුට දීමට අකමැති වන්නේ ය. ඔහු එසේ කරන්නේ සතුරන් ඔබේ නගර සියල්ල වටලා, ඔබට අවහිර කිරීමෙන් වන දරුණු පීඩාවේ දී ඔබට කන්න දෙයක් ඉතිරි නොවන බැවිනි.</verse>
				<verse number="56">ඔබ අතර සිටින ශිෂ්ට සම්පන්න, විනීත ගතිපැවතුම් ඇති, සුමුදු සිව්මැලි ගතිය නිසා තම පය බිම තැබීමටවත් වුවමනාවක් නොතිබුණු ස්ත්‍රිය පවා, තම ප්‍රේමවන්ත සැමියා දෙස ද දරුදැරියන් දෙස ද අකාරුණික බැල්ම හෙළන්නී ය.</verse>
				<verse number="57">සතුරන් ඔබේ නගර සියල්ල වටලා ඔබට අවහිර කිරීමෙන් වන දරුණු පීඩාවේ දී ඇයට කන්න යමක් නැති ව, ඇය අලුත ලැබූ දරුවා වැදෑමහත් සමඟ ම රහසින් කන්නී ය.</verse>
				<verse number="58">“මේ පොතේ ලියා ඇති නීති සියල්ලට අවනත වී නොපිළිපදින්නහු නම්, දෙවි සමිඳාණන් වහන්සේ යන බියජනක, ශ්‍රී නාමයට ගරුබිය දක්වන පිණිස,</verse>
				<verse number="59">සමිඳාණන් වහන්සේ ඔබටත්, ඔබේ පෙළපතටත් පුදුමාකාර, භයානක, කල් පවතින වසංගත හා කල් පවතින දරුණු ලෙඩරෝග පමුණුවන සේක.</verse>
				<verse number="60">තවද, උන් වහන්සේ මිසර දේශයේ වූ බියකරු ලෙඩරෝග සියල්ල ඔබ පිට යළි පමුණුවන සේක. ඒවා ඔබෙන් තුරන් නොවන්නේ ය.</verse>
				<verse number="61">මේ නීති සංග්‍රහයේ ලියා නැති ලෙඩරෝග සහ වසංගත සියල්ල ම උන් වහන්සේ ඔබ වනසාලන තෙක් ඔබ පිට පමුණුවන සේක.</verse>
				<verse number="62">ඔබ ගණනින් අහසේ තරු මෙන් වැඩි වුවත්, දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට අකීකරු වූ බැවින් ගණනින් ස්වල්පයක් මෙන් ඉතිරි වන්නහු ය.</verse>
				<verse number="63">ඔබට ශුභසිද්ධිය සැලසීමටත්, ඔබ වැඩි වර්ධනය කිරීමටත් සමිඳාණන් වහන්සේ ප්‍රීති ප්‍රමෝද වූවාක් සේ, ඔබ වනසාලීමටත්, නැත්තටම නැතිකිරීමටත් උන් වහන්සේ ප්‍රීති ප්‍රමෝද වන සේක. ඔබ අයිති කරගන්නට යන රටින් උන් වහන්සේ ඔබ සම්පූර්ණයෙන් පිටමං කරදමන සේක.</verse>
				<verse number="64">“පොළොවේ එක් කොණක සිට අනික් කොණ දක්වා ජාති ජාතීන් අතරෙහි උන් වහන්සේ ඔබ විසුරුවා හරින සේක. එවිට ඔබ හෝ ඔබේ පියවරුන් හෝ නොදත්, ලීයෙන් සහ ගලින් නෙළූ අන් දෙවිදේවතාවන්ට ඔබ වැඳුම්පිදුම් කරන්නහු ය.</verse>
				<verse number="65">මෙකී ජාතීන් අතර ඔබට කිසි පහසුවක් නොවන්නේ ය. ඔබේ පයට විවේකයක් නොවනු ඇත. එහි දී සමිඳාණන් වහන්සේ ඔබේ හද කම්පා කරන සේක; නෙත අඳුරු කරන සේක; සිත දුක් ගන්වන සේක.</verse>
				<verse number="66">ඔබේ ජීවිතය ගැන ඔබට සැක පහළ වනු ඇත. දිවා රෑ බියට පත් වෙමින් ජීවිතය ගැන අවිශ්වාසයක් වනු ඇත.</verse>
				<verse number="67">ඔබේ හදවත බියෙන් ගැහි ගැහී පුදුමාකාර දේවල් දකින විට, උදය කාලයේ, ‘අනේ! හවස් වුණා නම් කෙතරම් හොඳ ද’ කියාත්, හවස් කාලයේ දී ‘අනේ! උදය වුණා නම් කෙතරම් හොඳ ද’ කියාත් ඔබ කියන්නහු ය.</verse>
				<verse number="68">ඔබ මිසර දේශය නැවත නොදකින්නෙහි යයි මා කී නමුත් සමිඳාණන් වහන්සේ ගොඩින් සහ මුහුදින් ඔබ මිසර දේශයට නැවත යවන සේක. එහි දී ඔබ වහල් දැසිදසුන් මෙන් ඔබේ සතුරන්ට විකුණනු ලබන්නහු ය. එහෙත් කිසිවෙකු ඔබ මිලට නොගනු ඇත.”</verse>
			</chapter>
			<chapter number="29">
				<verse number="1">සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා සමඟ හොරෙබ් කන්දේ දී කළ ගිවිසුමට අමතර ව, උන් වහන්සේ මෝවබ් දේශයෙහි දී ඔවුන් සමඟ කරන ලෙස මෝසෙස්ට අණ කළ ගිවිසුමේ වචන මේවා ය.</verse>
				<verse number="2">මෝසෙස් මුළු ඉශ්රායෙල් සෙනඟ කැඳවා ඔවුන් අමතා මෙසේ කී ය: “සමිඳාණන් වහන්සේ මිසර දේශයෙහි ඔබේ ඇස් ඉදිරියෙහි දී පාරාවෝ රජුටත්, ඔහුගේ සියලු නිලධාරීන්ටත්, මුළු රටටත් කළ</verse>
				<verse number="3">බිහිසුණු පීඩා ද හාස්කම් සහ ප්‍රබල ක්‍රියා ද ඔබ දුටුවහු ය.</verse>
				<verse number="4">එහෙත්, ඒවා තේරුම්ගැනීමට සිත් ද දැකීමට නෙත් ද ඇසීමට කන් ද සමිඳාණන් වහන්සේ අද දක්වා ඔබට නුදුන් සේක.</verse>
				<verse number="5">සමිඳාණන් වහන්සේ ඔබට පාළුකරයේ දී හතළිස් අවුරුද්දක් මඟ පෙන්වූ සේක. ඔබ ඇඟ ලා ගත් ඇඳුම් පරණ නො වී ය. පය ලා ගත් වහන් පරණ නො වී ය.</verse>
				<verse number="6">සමිදාණන් වහන්සේ වන මා ඔබේ දෙවියන් වහන්සේ බව දැනගන්නා පිණිස ඔබ රොටි කෑවේ වත් මිදිරස හෝ මත්පැන් පානය කළේ වත් නැත.</verse>
				<verse number="7">ඔබ මෙතැනට පැමිණි විට හෙෂ්බොන්හි රජ වූ සීහොන් ද බාෂාන්හි රජ වූ ඕග් ද අපට විරුද්ධ ව සටනට පැමිණි නමුත්, අපි ඔවුන්ට පහර දුනිමු.</verse>
				<verse number="8">අපි ඔවුන්ගේ රට අල්ලාගෙන රූබන්ගේ පෙළපතටත්, ගාද්ගේ පෙළපතටත්, මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් ඒ රට උරුම කොට දුනිමු.</verse>
				<verse number="9">එබැවින් ඔබ කරන සියල්ල සඵල වන පිණිස මේ ගිවිසුමේ වචන ආරක්ෂා කොට ඒවා පිළිපදින්න.</verse>
				<verse number="10">“අද දින ඔබේ ගෝත්‍රවල නායකයෝ ද ප්‍රජා මූලිකයෝ ද නිලධාරීහු ද වන ඉශ්රායෙල්වරුන්ගේ මුළු පිරිමි පක්ෂය ද</verse>
				<verse number="11">ඔබේ කුඩා දරුවෝ ද භාර්යාවෝ ද දර පළන්නා පටන් වතුර අදින්නා දක්වා ඔබේ කඳවුරේ සිටින විදේශිකයෝ ද දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටින්නෝ ය.</verse>
				<verse number="12">ඔබ එසේ සිටින්නේ, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අද ඔබ සමඟ කරන දිවුරුම් ගිවිසුමට ඔබ ඇතුළු වන පිණිස ය.</verse>
				<verse number="13">එවිට උන් වහන්සේ ඔබට වදාළ පරිදි, ඔබේ පියවරුන් වූ ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට දිවුළ පරිදි අද දින උන් වහන්සේ ඔබ තමන්ට ම වෙන් කොටගත් සෙනඟක් කර, ඔබේ දෙවියන් වහන්සේ වන සේක.</verse>
				<verse number="14">උන් වහන්සේ මේ දිවුරුම් ගිවිසුම කරන්නේ ඔබ සමඟ පමණක් නොවේ.</verse>
				<verse number="15">අද දින දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මෙහි සිටින ඔබ සමඟත්, අද දින මෙහි නැති අය සමඟත් උන් වහන්සේ ගිවිසුම කරන සේක.</verse>
				<verse number="16">“මිසර දේශයේ අප වාසය කළ සැටිත්, අප පසු කර ආ ජාතීන් මැදින් අපි කෙසේ ආවෙමු ද කියාත් ඔබ දන්නහු ය.</verse>
				<verse number="17">ඔවුන්ගේ පිළිකුල් ක්‍රියා ද ඔවුන් අතර වූ ලීයෙන්, ගලින්, රිදී සහ රත්රනින් නෙළූ පිළිම ද ඔබ දුටුවහු ය.</verse>
				<verse number="18">මෙදින අප දෙවියන් වහන්සේ අත්හැර දමා මේ ජාතීන්ගේ දෙවිදේවතාවන් වෙත ගොස්, ඔවුන්ට වැඳුම්පිදුම් කරනු සඳහා සිත වෙනස් කරගත් ස්ත්‍රියක හෝ පුරුෂයෙකු ද පවුලක් හෝ ගෝත්‍රයක් ද ඔබ අතර නොසිටින හැටියටත්, තිත්ත වහ ගෙඩි හටගන්වන ගහක මුලක් ඔබ අතර නොවන හැටියටත් ප්‍රවේසම් විය යුතු ය.</verse>
				<verse number="19">එබඳු කෙනෙකු මේ දිවුරුමේ වචන අසන විට, ‘මා සිත මුරණ්ඩුකමින් හැසිරෙන නමුත්, මට සකල ශුභසිද්ධිය සැලසේ වා’යි කියාගනිමින් තමන් සිත සනසා ගත්තත්, හොඳ නරක දෙපක්ෂය ම විනාශය කරා යනු ඇත.</verse>
				<verse number="20">සමිඳාණන් වහන්සේ ඔහුට කමා නොකරන සේක, උන් වහන්සේගේ උදහස ද කෝපය ද ඔහුට විරුද්ධ ව ඇවිළෙන්නේ ය. මේ පොතේ ලියන ලද සාප සියල්ල ඔහු පිට වැටෙන්නේ ය. තවද, උන් වහන්සේ ඔහුගේ නම මිහි පිටින් මකාදමන සේක.</verse>
				<verse number="21">මේ නීති සංග්‍රහය ලියන ලද ගිවිසුමට සම්බන්ධ සාප සියල්ල අනුව සමිඳාණන් වහන්සේ ඔහු විපතට හෙළනු පිණිස සියලු ම ඉශ්රායෙල් ගෝත්‍රවලින් ඔහු වනසාලන සේක.</verse>
				<verse number="22">“මෙසේ ඔබට පසු එන ඔබේ දරු පරම්පරා සහ දුර රටකින් පැමිණෙන විදේශිකයා, සමිඳාණන් වහන්සේ ඒ රටට එවූ වසංගත සහ ලෙඩරෝග ද දකින්නෝ ය.</verse>
				<verse number="23">උන් වහන්සේ වනසා දැමූ සොදොම් සහ ගොමොරා, අද්මා සහ ශෙබොයිම් යන නගරවල මෙන්, ඒ මුළු රටෙහි කිසි වැපිරීමක් වත්, පලා ජාතියක් වත්, තණකොළ ගහක් පවා හටගැනීමක් වත් නැති ව, ගෙන්දගම් සහ ලුණුවලින් ඒ රට පිරී දැවෙමින් තිබෙනු ඇත.</verse>
				<verse number="24">සියලු ජාතීහු මේවා දැක, ‘සමිඳාණන් වහන්සේ මේ රටට මෙසේ කෙළේ මන් ද? මෙතරම් දරුණු උදහසකට හේතුව කුමක් දැ’යි අසන්නෝ ය.</verse>
				<verse number="25">එවිට මිනිස්සු පිළිතුරු දෙමින් මෙසේ කියන්නෝ ය: ‘මොවුන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනා විට ඔවුන් සමඟ කළ ගිවිසුම ඔව්හු අත්හැර ගොස්,</verse>
				<verse number="26">ඔවුන් නොදත්, උන් වහන්සේ ඔවුන්ට නුදුන්, අන් දෙවිදේවතාවන්ට වන්දනා නමස්කාර කළෝ ය.</verse>
				<verse number="27">එබැවින් මේ පොතේ ලියා ඇති සාප සියල්ල ඒ රටට පමුණුවන තරම් ඊට විරුද්ධ ව උන් වහන්සේගේ කෝපය ඇවිළිණි.</verse>
				<verse number="28">සමිඳාණන් වහන්සේ කෝපයෙන් සහ උදහසින් ද දැඩි ක්‍රෝධයෙන් ද ඇවිළී ඔවුන්ගේ මවු බිමින් ඔවුන් මුලින් උදුරා, අද සිටින පරිදි වෙනත් රටකට ඔවුන් පලවා දැමූ සේක.’</verse>
				<verse number="29">“අබිරහස් දේ අපේ දෙවි සමිඳාණන් වහන්සේට අයිති ය. එහෙත්, මේ නීතියේ කරුණු අපටත්, අපේ දරුවන්ටත්, ප්‍රකාශ කර ඇත්තේ අප ඒවා සදහට ම පිළිපදින පිණිස ය.”</verse>
			</chapter>
			<chapter number="30">
				<verse number="1">“මා ඔබට තෝරාගන්නට දුන් ආශීර්වාද සහ සාප යන මේ සියල්ල ඔබ වෙත පැමිණි විට, දෙවි සමිඳාණන් වහන්සේ විසින් ඔබ පන්නාදමනු ලැබූ සියලු ජාතීන් අතර ඒවා සිහි කොට</verse>
				<verse number="2">ඔබත්, ඔබේ දරුමුණුබුරොත් තම තමන්ගේ මුළු හෘදයෙන් සහ මුළු සිතින් සමිඳාණන් වහන්සේ වෙත ආපසු හැරී, මා ඔබට අද නියම කරන සියල්ල අනුව ඔබ උන් වහන්සේගේ හඬට කීකරු වන්නහු නම්,</verse>
				<verse number="3">උන් වහන්සේ ඔබට අනුකම්පාව දක්වා ඔබේ වහල්කම පහකොට, උන් වහන්සේ පැමිණ, විසුරුවනු ලැබූ සියලු ජාතීන් අතරෙන් ඔබ හැම එක්රැස් කරගන්නා සේක.</verse>
				<verse number="4">පොළොවේ බොහෝ දුර පෙදෙසට ඔබ පන්නාදමනු ලැබ සිටියත්, උන් වහන්සේ ඔබ සොයා එතැනට පැමිණ ඔබ ගෙන එන සේක.</verse>
				<verse number="5">තවද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට හිමි වූ දේශයට ඔබ ගෙනා පසු ඔබ එය අයිති කරගන්නහු ය. උන් වහන්සේ ඔබේ ආදි පියවරුන්ට වඩා ඔබට සෙත සලසා, ඔබේ ජන සංබ්‍යාව ගණනින් වර්ධනය කරන සේක.</verse>
				<verse number="6">ඔබ ඒ රට පදිංචි ව ජීවත් වෙමින් ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු සිතින් ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කරන පිණිස උන් වහන්සේ ඔබේ සිතෙන් ද ඔබේ දරුමුණුබුරන්ගේ සිත්වලින් ද පාප මල කපා හරින සේක.</verse>
				<verse number="7">තවද, දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පීඩා කළ ඔබේ සතුරන් පිට ද ඔබට වෛර කළ අය පිට ද මේ සාප සියල්ල වැටෙන්නට සලසන සේක.</verse>
				<verse number="8">ඔබ යළි පැමිණ සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු ව, මා ඔබට අද පණවන උන් වහන්සේගේ ආඥා සියල්ල පිළිපදින්නහු ය.</verse>
				<verse number="9">දෙවි සමිඳාණන් වහන්සේ ඔබ කරන සියලු වැඩකටයුතු ද බහුල ව සඵලවත් කරන සේක. ඔබට සෙත සලසමින්, ඔබේ දරුසම්පත ද ගවසම්පත ද භවභෝග ද වර්ධනය කරන සේක. උන් වහන්සේ ඔබේ පියවරුන් ගැන ප්‍රීති ප්‍රමෝද වූවාක් මෙන් ම ඔබට සෙත සලසන පිණිස ඔබ ගැන ද නැවත ප්‍රීති ප්‍රමෝද වන සේක.</verse>
				<verse number="10">එසේ වන්නේ, මේ නීති සංග්‍රහයේ ලියා ඇති දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥා ද නීති හා නියෝග ද පිළිපදින පිණිස, ඔබ උන් වහන්සේගේ හඬට කීකරු වුණොත්, ඔබේ මුළු හෘදයෙන් සහ ඔබේ මුළු සිතින් උන් වහන්සේ වෙත හැරී ආවොත් පමණකි.</verse>
				<verse number="11">“මා ඔබට අද නියම කරන මේ පණත දුෂ්කර එකක් වත්, ඉටු කරන්නට අපහසු එකක් වත් නොවේ.</verse>
				<verse number="12">එය ඇත්තේ අහසෙහි නොවේ; එබැවින් එය අසා, ඉටු කරන පිණිස අප වෙත ගෙන එන්නට කවරෙක් අහසට නඟින්නේ ද කියා කිසිවෙකුට කිව නොහැකි ය.</verse>
				<verse number="13">එය ඇත්තේ මුහුදින් එතෙර ද නොවේ; එබැවින් එය අසා ඉටු කරන පිණිස අප වෙත ගෙන එන්නට කවරෙක් මුහුද තරණය කරන්නේ ද කියා කිසිවෙකුට කිව නොහැකි ය.</verse>
				<verse number="14">එහෙත්, ඒ වචනය ඔබ ඉටු කරන පිණිස එය ඔබට ඉතා ළං ව, ඔබේ තොල් මත ද ඔබේ සිතෙහි ද ඇත්තේ ය.”</verse>
				<verse number="15">“බලන්න, මම අද ඔබ ඉදිරියෙහි ජීවනය සහ සැපත ද මරණය සහ විපත ද තැබීමි.</verse>
				<verse number="16">ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට මෙදින දෙන පණත් ඔබ අනුගමනය කරන්නහු නම්, ඔබ ඒ රටේ පදිංචි වෙමින්, වැඩි වර්ධනය වී ජීවත් වන්නහු ය. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබ ප්‍රේම කරමින් දෙවි මඟ හැසිරෙමින්, උන් වහන්සේගේ ආඥා ද නීති හා නියෝග ද ව්‍යවස්ථා ද පිළිපදින්නහු නම්, ඔබ අයිති කරගන්නට යන දේශයෙහි දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක.</verse>
				<verse number="17">එහෙත්, ඔබ අකීකරු වී ඔබේ සිත අන් අතකට හැරී ගොස් අනිකුත් දෙවිදේවතාවන්ට වන්දනා නමස්කාර කිරීමට ඔබේ සිත ඇදී ගියොත්,</verse>
				<verse number="18">ඔබ නැත්තට ම විනාශ වන බවත්, ජොර්දාන් ගඟෙන් එතෙර වී ඔබ අයිති කරගන්නට යන දේශයෙහි ඔබ බොහෝ කල් ජීවත් නොවන බවත් මම අද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමි.</verse>
				<verse number="19">මා ඔබ ඉදිරියෙහි ජීවනය හෝ මරණය ද ආශීර්වාදය හෝ සාපය ද අද තැබූ බවට, ඔබට විරුද්ධ ව සාක්ෂි දරන පිණිස අහසත්, පොළොවත් කැඳවමි. එබැවින් ඔබත්, ඔබේ පරපුරත් ජීවත් වන පිණිස ජීවනය තෝරාගන්න.</verse>
				<verse number="20">දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන් වන ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට දෙන්න දිවුළ දේශයෙහි ඔබ පදිංචි වන පිණිස උන් වහන්සේට ප්‍රේම කොට, උන් වහන්සේගේ හඬට කීකරු වී උන් වහන්සේට ඇලුම් ව සිටිය යුතු ය. එසේ කිරීමෙන් චිරාත් කාලයක් ඔබ ඒ රටේ ජීවත් වන්නහු ය.”</verse>
			</chapter>
			<chapter number="31">
				<verse number="1">මෝසෙස් ගොස් ඉශ්රායෙල්වරුන් සියලු දෙනාට මේ පුවත කීවේ ය.</verse>
				<verse number="2">ඔහු ඔවුන් අමතමින් මෙසේ පැවසී ය: “මට අද වයස අවුරුදු එකසිය විස්සකි. මට තවත් රිසි පරිදි යන්න එන්න බැරි ය. ‘ඔබ ජොර්දාන් ගඟෙන් එතෙර නොවනු ඇතැ’යි සමිඳාණන් වහන්සේ ද මට වදාළ සේක.</verse>
				<verse number="3">ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පෙරටුවෙන් එතෙර වී, ඔබට ඉදිරියෙන් සිටින ජාතීන් වනසාලන සේක. ඔබ ඔවුන්ගේ දේශ අයිති කරගන්නහු ය. සමිඳාණන් වහන්සේ වදාළ ප්‍රකාර, ඔබට පෙරටුවෙන් ජෝෂුවා යනු ඇත.</verse>
				<verse number="4">සමිඳාණන් වහන්සේ වනසා ලූ අමෝරිවරුන්ගේ රජුන් වන සීහොන්ට සහ ඕග්ට ද ඔවුන්ගේ දේශයට ද කළ ලෙස, උන් වහන්සේ ඔවුන්ටත් කරන සේක.</verse>
				<verse number="5">සමිඳාණන් වහන්සේ මොවුන් ඔබට පාවා දුන් කල, මා නියම කළ සියලු අණපණත් අනුව ඔබ ඔවුන්ට කළ යුතු ය.</verse>
				<verse number="6">ශක්තිමත් ව ධෛර්ය සම්පන්න ව සිටින්න; බිය නොවී, තැති නොගෙන ඉන්න; ඔබ සමඟ යන්නේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේ ඔබ අතරමං නොකරන සේක. ඔබ අත් නොහරින සේක.”</verse>
				<verse number="7">ඉන්පසු මෝසෙස් ජෝෂුවා කැඳවා මුළු ඉශ්රායෙල් ජනතාව බලා සිටිය දී ඔහුට කතා කොට, “ශක්තිමත් ව ධෛර්ය සම්පන්න ව සිටින්න. සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දෙන්නට දිවුළ දේශයට මේ සෙනඟ සමඟ ඔබ යා යුතු ය. ඔබ ඔවුන්ට එරට උරුම කර දිය යුතු ය.</verse>
				<verse number="8">ඔබට පෙරටුවෙන් යන්නේ සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක. ඔබ අතරමං නොකරන සේක. ඔබ අත් නොහරින සේක. බිය නොවන්න; නොකැළඹෙන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="9">මෝසෙස් මේ නීතිය ලියා සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලාගෙන ගිය ලෙවීගේ වංශයේ පූජකයන්ට ද ඉශ්රායෙල් ජනතාවගේ ප්‍රජා මූලිකයන්ට ද භාර දුන්නේ ය.</verse>
				<verse number="10">තවද, මෝසෙස් ඔවුන්ට මෙසේ අණ කරමින්, “සෑම සත් අවුරුද්දක් කෙළවර දී, මිදීමේ අවුරුද්ද පැමිණි විට,</verse>
				<verse number="11">කූඩාරම් මංගල්‍යයේ දී දෙවි සමිඳාණන් වහන්සේ තෝරා නියම කරන ස්ථානයට, උන් වහන්සේ අබිමුවට මුළු ඉශ්රායෙල් ජනතාව ආ විට, ඔවුන් සියල්ලන්ට ඇසෙන පරිදි ඔබ මේ නීතිය කියවිය යුතු ය.</verse>
				<verse number="12">ස්ත්‍රීන් සහ පුරුෂයන් ද දරුදැරියන් ද ඔබේ නගරවල සිටින විදේශිකයන් ද එක්රැස් කොට, ඔවුන් මේ නීතිය අසා දැනගෙන දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමටත්, මේ නීතියේ අඩංගු කරුණු සියල්ල පිළිපැදීමටත් ඔවුන්ට එය කියවිය යුතු ය.</verse>
				<verse number="13">එවිට ඔබ ජොර්දාන් ගඟෙන් එතෙර වී අයිති කරගන්නට යන දේශයෙහි ඔබට දිවි ඇති තාක්, ඔබෙන් පැවත එන කිසිවක් නොදත් අය එය අසා, දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමට ඉගෙන ගන්නෝ ය”යි කී ය.</verse>
				<verse number="14">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “බලන්න, නුඹ මැරෙන කාලය දැන් ආසන්න ය. ජෝෂුවා කැඳවා, මා ඔහුට වගකීම භාර දෙන පිණිස නුඹලා දෙදෙන සම්මුඛ මණ්ඩපයෙහි පෙනී සිටින්නැ”යි වදාළ සේක. මෝසෙස් සහ ජෝෂුවා ගොස් සම්මුඛ මණ්ඩපයෙහි පෙනී සිටියෝ ය.</verse>
				<verse number="15">සමිඳාණන් වහන්සේ ද මණ්ඩපයෙහි වලා ටැඹක් මඟින් දර්ශනය වූ සේක. එහි දොරටුවට ඉහළින් වලා ටැඹ පිහිටා තිබිණි.</verse>
				<verse number="16">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “බලන්න, නුඹේ පියවරුන් කළුරිය කළ පරිදි නුඹත් කළුරිය කරන්නට දැන් ආසන්න ව සිටින්නෙහි ය. නුඹේ මරණින් පසු මේ සෙනඟ මට අවිශ්වාසවන්ත ව ඔවුන් පදිංචි වන රටෙහි විදේශිකයන්ගේ දෙවිදේවතාවන් වැළඳගෙන, මා අත්හැර, ඔවුන් සමඟ කළ මාගේ ගිවිසුම කඩ කරන්නෝ ය.</verse>
				<verse number="17">එදින මාගේ උදහස ඔවුන්ට විරුද්ධ ව ඇවිළී, මා ඔවුන් අත්හැර, මම ඔවුන්ගෙන් මාගේ මුහුණ සඟවා ගන්නෙමි. ඔවුන් පිට පැමිණෙන මහා විපත්ති සහ දුක් කරදරවලින් ඔව්හු වැනසී යන්නෝ ය. එවිට එදින ඔව්හු කතා කොට, ‘මේ විපත්ති අප පිට පැමිණ තිබෙන්නේ අපේ දෙවියන් වහන්සේ අප අතරේ නැති නිසා නොවේ දැ’යි කියන්නෝ ය.</verse>
				<verse number="18">ඔවුන් අන් දෙවිදේවතාවන් වෙත හැරී ගොස්, කළ සියලු නපුරුකම් නිසා මම එදින සත්තකට ම මාගේ මුහුණ ඔවුන්ගෙන් සඟවාගන්නෙමි.</verse>
				<verse number="19">එබැවින් දැන් මේ ගීතය ලියා ඉශ්රායෙල් ජනයාට ඉගැන්විය යුතු ය. මේ ගීතය ඉශ්රායෙල් ජනයාට විරුද්ධ ව මා වෙනුවෙන් සාක්ෂියක් වනු පිණිස එය ඔවුන්ට කටපාඩම් කරවන්න.</verse>
				<verse number="20">මා ඔවුන්ගේ පියවරුන්ට දිවුළ කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයට ඔවුන් ගෙනා පසු, ඔවුන් කා බී, තෘප්තිමත් වී, තර වූ පසු, ඔව්හු අන් දෙවිදේවතාවන් වෙත හැරී ගොස්, ඔවුන්ට වැඳ පුදා, මා කුපිත කොට මාගේ ගිවිසුම් කඩ කරන්නෝ ය.</verse>
				<verse number="21">ඔවුන් පිට බොහෝ විපත්ති හා දුක්කරදර පැමිණෙන විට, ඔවුන්ගේ දරුමුණුබුරන්ට එම ගීතය අමතක නොවන බැවින් එය සාක්ෂිකරුවෙකු මෙන් ඔවුන්ට විරුද්ධ ව සාක්ෂි දෙනු ඇත. මන්ද, මා දිවුළ දේශයට ඔවුන් ගෙනෙන්නට කලින්, දැනට ම මම ඔවුන්ගේ සිතුම් පැතුම් දනිමි.”</verse>
				<verse number="22">එබැවින් මෝසෙස් එදින ඒ ගීතය ලියා ඉශ්රායෙල් ජනයාට ඉගැන්වී ය.</verse>
				<verse number="23">සමිඳාණන් වහන්සේ නූන්ගේ පුත් ජෝෂුවාට කතා කරමින්, “ශක්තිමත් ව, ධෛර්ය සම්පන්න වන්න. මා ඔවුන්ට දිවුළ දේශයට ඔබ ඉශ්රායෙල් ජනතාව ගෙන යන්නෙහි ය. මම ඔබ සමඟ සිටිමි”යි වදාළ සේක.</verse>
				<verse number="24">එවිට මෝසෙස් මේ නීතියේ අඩංගු කරුණු සියල්ල ම කෙළවර වන තෙක් පොතක ලීවේ ය.</verse>
				<verse number="25">ඉන්පසු ඔහු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලන ලෙවීවරුන්ට අණ කරමින් මෙසේ කීවේ ය:</verse>
				<verse number="26">“මේ නීති සංග්‍රහය රැගෙන, ඔබට විරුද්ධ ව සාක්ෂියක් වන පිණිස, එය දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ළඟ තබන්න.</verse>
				<verse number="27">මම ඔබේ කැරලිකාරකමත්, මුරණ්ඩුකමත් දනිමි. මා අද ජීවත් ව සිටිය දී ම සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ඔබ කැරලිගසන්නහු නම්, මාගේ මරණයෙන් පසු කොපමණ වැඩියෙන් එසේ නොකරන්නහු ද?</verse>
				<verse number="28">ඔබේ ගෝත්‍රවල ප්‍රජා මූලිකයන් ද නිලධාරීන් ද අසාගෙන සිටින විට මේ කරුණු කියා, ඔවුන්ට විරුද්ධ ව සාක්ෂි දීමට අහසත් පොළොවත් කැඳවනු පිණිස, ඔවුන් සියල්ලන් මා වෙතට රැස් කරන්න.</verse>
				<verse number="29">මාගේ මරණින් පසු ඔබ හැම සම්පූර්ණයෙන් ම දූෂ්‍ය වී මා නියම කළ මාර්ගයෙන් ඉවතට යන බව මම දනිමි. සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දුෂ්ටකම් කර, ඔබේ ක්‍රියාවලින් උන් වහන්සේගේ කෝපය අවුස්සන බැවින් මතු කාලයේ දී ඔබ පිට මහා දුර්භාග්‍ය පැමිණෙනු ඇත.”</verse>
				<verse number="30">ඉන්පසු මෝසෙස් මුළු ඉශ්රායෙල් ජනතාවට ඇසෙන පරිදි මේ ගීතයේ වචන, නිමවන තෙක් පැවසී ය.</verse>
			</chapter>
			<chapter number="32">
				<verse number="1">“එම්බා, අහස් තලය! මා කියන දේට සවන් දෙන්න. එම්බා, මිහිතලය! මා වදනට ඇහුම්කන් දෙන්න.</verse>
				<verse number="2">මා සික පද වැහි බිඳු මෙන්, මා කථනය පිනි බිඳු මෙන්, ළා පැළ මත වැසි පොද මෙන්, ළා තණ මත මල් වැසි මෙන් වැටේ.</verse>
				<verse number="3">හිමි සඳ නම මම පවසමි. එතුමන්ගේ මහිමය ඔබ ගයන්න.</verse>
				<verse number="4">එතුමාණෝ පර්වතයාණෝ ය. එතුමන්ගේ ක්‍රියා පරිපූර්ණ ය; එතුමන්ගේ මාර්ග සාධාරණ ය. එතුමාණෝ අයුතුකමින් තොර ව වසන විශ්වාසී දෙවි කෙනෙකි. දැහැමි ව හා අවංක ව ද සිටින සේක.</verse>
				<verse number="5">එහෙත් එතුමන්ගේ සෙනඟ, දූෂ්‍ය වී ඇත; දෙවි දරුකම ඔවුන්ට නැත; වංක, අදමිටු පරපුරක් වී ඇත.</verse>
				<verse number="6">අහෝ, මෝඩ අනුවණ ජනයෙනි! සමිඳුන්ට සලකන්නේ මෙලෙස ද? නුඹලා මවා, උපදවා ජාතියක් සේ පිහිටෙව් පියාණෝ, එතුමණෝ නොවෙත් ද?</verse>
				<verse number="7">පැරණි යුග සිහි කරන්න. පෙර පරපුර සලකා බලන්න. පියාගෙන් අසන්න; ඔහු නුඹලාට කියා දෙනු ඇත. ප්‍රජා මූලිකයන්ගෙන් විමසන්න; ඔවුන් නුඹලාට දන්වනු ඇත.</verse>
				<verse number="8">
					මහෝත්තමයාණෝ ජාති ජාතීන් හට රට රාජ්‍ය බෙදා දුන් විට, මිනිසුන් ජාතීන් වශයෙන් බෙදා වෙන් කරන විට, මුර දේවතාවන්ගේ ගණනේ හැටියට, ඔවුන්ගේ සීමා නියම කළ සේක.
				</verse>
				<verse number="9">සමිඳුන්ගේ කොටස එතුමන් සෙනඟ ය, සිය උරුමය ජාකොබ් පෙළපත ය.</verse>
				<verse number="10">කාන්තාර රටක දී, බියකරු පාළුකරයේ දී, ඔවුන් හමු වී, එතුමාණෝ, තම දෙනෙත මෙන් ඔවුන් රැකබලා ඔවුන්ට උපදෙස් දී, මඟපෙන්වූ සේක.</verse>
				<verse number="11">එසේ කෙළේ, රාජාලියා සිය කැදැල්ල අවුස්සා, පැටවුන්ට පහළින් පියාඹා, පියාපත් විහිදුවා, ඒ මත උන් දරා, උන් ගෙන යන්නාක් මෙනි.</verse>
				<verse number="12">ඔවුන්ට මඟපෙන්වූයේ සමිඳාණන් පමණෙකි; අන් දෙවියෙක් එතුමන් සමඟ නො වී ය.</verse>
				<verse number="13">එතුමාණෝ මිහි පිට ගිරිකුළු මත ඔවුන් ගෙන ගිය සේක. ගොඩ මඬ අස්වැන්නෙන් ඔවුන් පෝෂණය කළ සේක. පර්වතයෙන් මී පැණි ද ගිනිගලෙන් තෙල් ද ඔවුන්ට පෙවූ සේක.</verse>
				<verse number="14">දී කිරෙන් හා බැටළු කිරෙන්, බාෂාන්හි එළු බැටළු තෙලින්, හොඳ ම තිරිඟු පිටිවලින්, පැසුණු ඉස්තරම් මිදියුසින්, ඔවුන් පෝෂණය කළ සේක.</verse>
				<verse number="15">ජාකොබ්ගේ පෙළපත කා බී සෑහීමට පත් වූ හ. ඉශ්රායෙල් සෙනඟ තර වී කැරලි ගැසූ හ. තර වී, තරබාරු වී, ස්ථුල වූ හ. තමන් මැවූ දෙවිඳුන් අතහැර, විමුක්ති පර්වතයාණන් වන එතුමන් සුළු කොට සැලකූ හ.</verse>
				<verse number="16">අන් දෙවිදේවතාවන්ට වැඳ පුදා, නුරුස්සන ලෙස උන් වහන්සේ පෙළඹවූහ. පිළිකුල් ක්‍රියා කොට, එතුමන් උදහස් කළහ.</verse>
				<verse number="17">
					දෙවිඳුන් නොවන, ඔවුන් නොහඳුනන, අලුතින් පැමිණි නව දෙවිවරුන් වන ඔවුන්ගේ පියවරුන් ගරුබිය නොපෑ යකුන් හට ඔව්හු පූජා කළහ.
				</verse>
				<verse number="18">ඔබට දිවි දුන් පර්වතයාණන්, ඔබ නොසැලකුවහු ය. ඔබ මැවූ දෙවි තුමාණන්, ඔබ අමතක කළහු ය.</verse>
				<verse number="19">සමිඳාණෝ එය දැක, ඔවුන්ගේ දූ පුතුන් එතුමන් කුපිත කළ නිසා, ඔවුන් පිළිකුල් කළ සේක.</verse>
				<verse number="20">එතුමාණෝ මෙසේ වදාළ සේක: මම ඔවුන්ගෙන් මුහුණ සඟවාගනිමි. ඔවුන්ගේ ඉරණම කුමක් දැ යි බලමි. ඔව්හු කපටි පෙළපතකි; අවිශ්වාසී පරපුරකි.</verse>
				<verse number="21">
					බොරු දෙවිවරුන් නිසා ඔව්හු මා කුපිත කළහ.
					එවැනි නිසරු දෙයින් මා උදහස් කළහ. එබැවින් වැදගැම්මක් නැති ජාතියක් ලවා මම ඔවුන් කුපිත කරවමි. අනුවණ සෙනඟක් ලවා මම ඔවුන් උදහස් කරවමි.
				</verse>
				<verse number="22">මාගේ කෝපයෙන් ගින්නක් ඇවිළී, පාතාල ලෝකයේ ගැඹුර තෙක් ගොස් දැවී, මිහිතලය අස්වැන්න සමඟ ගිනිබත් වනු ඇත. කඳුවල පදනම් ද දැවෙනු ඇත.</verse>
				<verse number="23">මම ඔවුන් පිට විපත් ගොඩ ගසමි. ඊ සැරයෙන් ඔවුන් විද දමමි.</verse>
				<verse number="24">ඔවුන් සාගින්නෙන් දැවෙනු ඇත. දැඩි උණකට, දරුණු වංසගතයට බිලි වනු ඇත. ඔවුන් ඉරාදැමීමට වන සතුන් එවමි. සර්ප විසෙන් ඔවුන් වනසාදමමි.</verse>
				<verse number="25">වීදිවල යුද්ධය ඇති වෙයි; ගෙවල භීතිය ඇති වෙයි. තරුණ තරුණියෝ නැසී යති; කිරි දරුවෝ ද මහල්ලෝ ද වැනසී යති.</verse>
				<verse number="26">ඔවුන් දස දෙස විසුරුවා හැර, ඔවුන්ගේ නම මිනිසුන් අතරෙන් මකාදමමි. මෙය මාගේ තීරණය වේ.</verse>
				<verse number="27">‘අපි ජයගත්තේ අපේ අතිනි. මෙය කෙළේ සමිඳාණන් නොව, අපි ම ය’යි සතුරන් වරදවා කියා මා උදහසට පත් නොකරනු වස්, මම එසේ නොකෙළෙමි.</verse>
				<verse number="28">ඉශ්රායෙල්වරු නැණනුවණ මදි ජාතියකි; ප්‍රඥා හීන සෙනඟකි.</verse>
				<verse number="29">ඔවුන්ට නැණනුවණ තිබිණි නම්, ඔව්හු නැණවත් වූවෝ නම්, අනාගතය ගැන මෙනෙහි කළෝ නම්, කෙතරම් හොඳ ද?</verse>
				<verse number="30">ඔවුන්ගේ පර්වතයාණෝ, ඔවුන් නොවික්ක සේක් නම්, සමිඳාණෝ, ඔවුන් පාවා නුදුන් සේක් නම්, එක් කෙනෙක් දහසක් ද දෙන්නෙක් දස දහසක් ද පලවා හරින්නේ කෙසේ ද?</verse>
				<verse number="31">අප සතුරන්ගේ දෙවිවරු, අපේ දෙවිඳුන් හා සම නොවෙති යි සතුරෝ දනිත්.</verse>
				<verse number="32">සතුරන්ගේ මිදි වැල සොදොම්හි මිදි වැලෙන් ය; ගොමොරාහි වතුපිටිවල මිදි වැලෙන් ය. ඒවායේ මිදි පල විස ය; ඒවායේ මිදි වලු තිත්ත ය.</verse>
				<verse number="33">ඔවුන්ගේ මිදියුස සර්ප විස වැනි ය, පොළඟාගේ සැර විස වැනි ය.</verse>
				<verse number="34">ඉශ්රායෙල් ජනයා මට අනගි නොවේ ද? මාගේ ගබඩාවල සම්පත් මෙන් ඔවුන් තැන්පත් කොට නැද් ද?</verse>
				<verse number="35">
					ඔවුන් වැරදි පියවරක් ගන්න විට පළිගැනීම හා ප්‍රතිඵල දීම මාගේ ය.
					ඔවුන්ගේ විපත්ති දවස ළඟ ය; ඔවුන්ගේ ඉරණම වහා පැමිණේ.
				</verse>
				<verse number="36">
					තම ජනයාගේ බලය නැති වූ බව, දාසයා ද නිර්දාසයා ද නැති බව, සමිඳාණෝ දැක;
					සිය සෙනඟට යුක්තිය ඉටු කරන සේක; ඔවුන්ට අනුකම්පා කරන සේක.
				</verse>
				<verse number="37">එතුමාණෝ මෙසේ අසන සේක: ‘ඔවුන් විශ්වාසය තැබූ පර්වතය වන දෙවිදේවතාවෝ කොහේ ද?</verse>
				<verse number="38">යාග පඬුරුවල තෙල වැළඳූ, පානීය පූජාවල මිදියුස පානය කළ, ඔවුන්ගේ දෙවිදේවතාවෝ කොතැන ද?’ ඔව්හු නැඟිට සිට උපකාර කරත් වා! රැකවරණය සලසත් වා!</verse>
				<verse number="39">බලන්න, මම, මම පමණක්, දෙවියන් වහන්සේ වෙමි. මා හැර අන් දෙවි කෙනෙක් නැත. දිවි දෙන්නෙත්, දිවි නසන්නෙත් මම ය. තුවාළ කරන්නෙත්, සුව කරන්නෙත් මම ය, මා අතින් යමෙකු ගළවන්නට හැකි කිසිවෙක් නැත.</verse>
				<verse number="40">අහසට මා අත ඔසවා දිවුරා කියමි, මා සදහට ම ජීවත් ව සිටින්නාක් මෙන්,</verse>
				<verse number="41">මා දිළිසෙන කඩුව මුවහත් කොට, මම යුක්තිය ඉටු කරමි. සතුරන්ට දඬුවම් දෙමි; මට වෛර කරන අයට දුර්විපාක දෙමි.</verse>
				<verse number="42">මැරුම් කෑ අයගේ ද අල්ලාගත් අයගේ ද ලෙයින්, මාගේ ඊගස් පොඟවමි; දිගු කෙස් ඇති නායකයන්ගේ මාංසය මාගේ කඩුවට ගොදුරු වන්නේ ය.</verse>
				<verse number="43">
					එම්බා ජනයෙනි!
					දේව සෙනඟ ගැන ප්‍රීති වන්න. එතුමාණෝ සිය සෙනඟගේ මරණයට පළිගන්න සේක; සතුරන්ට දඬුවම් දෙන සේක; එහෙත්, සිය සෙනඟගේ දේශයට අනුකම්පා කරන සේක.”
				</verse>
				<verse number="44">මෝසෙස් ද නූන්ගේ පුත් ජෝෂුවා සමඟ අවුත් මේ ගීතයේ වචන සියල්ල ම සෙනඟට ඇසෙන පරිදි හඬ නගා කී ය.</verse>
				<verse number="45">මෝසෙස් මේ කරුණු සියල්ල ඉශ්රායෙල්වරුන්ට කියා නිම කළ පසු,</verse>
				<verse number="46">ඔහු ඔවුන්ට කතා කොට, “අද දින මා ඔබ අතර සාක්ෂි දුන් මේ කරුණු සියල්ල කෙරෙහි සිත් යොමු කරන්න. මේ ව්‍යවස්ථාවේ කරුණු සියල්ල ම පිළිපදින ලෙස ඔබේ දරුදැරියන්ට නියම කරන්න.</verse>
				<verse number="47">මෙය ඔබේ ජීවය වන හෙයින් එය වටිනා දෙයකි. ජොර්දාන් ගඟෙන් එතෙර වී අයිති කරගන්නට යන දේශයෙහි මේ දේ පිළිපදින්නහු නම් ඔබ චිරාත් කාලයක් ජීවත් වන්නහු ය”යි කීවේ ය.</verse>
				<verse number="48">ඒ දවසේ දී ම සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්,</verse>
				<verse number="49">“ජෙරිකෝ නුවරට ඉදිරියෙන් මෝවබ් දේශයෙහි ඇති අබාරීම් කඳු වැටියේ පිහිටි නෙබෝ නම් කන්දට නැඟී මා ඉශ්රායෙල් ජනයාට අයිති කර දෙන්නට යන කානාන් දේශය නරඹන්න.</verse>
				<verse number="50">නුඹේ සොහොයුරු ආරොන් හෝර් කන්දේ දී මරණයට පත් වී, පවුලේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබුවාක් මෙන්, නුඹ ද නඟින්නට යන කන්දේ දී මරණයට පත් වී පවුලේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබිය යුතු ය.</verse>
				<verse number="51">මන්ද, ශීන් නම් පාළුකරයේ කාදෙෂ්හි මෙරිබා නම් උල්පත ළඟ දී ඉශ්රායෙල් ජනයා අතර නුඹලා මට විරුද්ධ ව පව් කොට, මට හිමි ගෞරවය නුදුන් නිසා ය.</verse>
				<verse number="52">නුඹ දුර තියා දේශය නරඹන්න. එහෙත්, මා ඉශ්රායෙල් ජනයාට දෙන දේශයට නුඹ ඇතුළු නොවන්නෙහි ය”යි වදාළ සේක.</verse>
			</chapter>
			<chapter number="33">
				<verse number="1">දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් වූ මෝසෙස් තම මරණයට පෙර ඉශ්රායෙල් ජනයාට ආශීර්වාද කරමින් මෙසේ පැවසී ය:</verse>
				<verse number="2">“සමිඳාණෝ සීනයි කන්දේ සිට වැඩිය සේක. සේයිර් පෙදෙසේ සිට ඔවුන්ට උදා වූ සේක. පාරාන් කන්දේ සිට බැබළුණු සේක. දස දහසක් දේව දූතයන් ඇති ව පැමිණි සේක. දකුණත ගිනි දැල්ලක් සමඟ වැඩිය සේක.</verse>
				<verse number="3">එතුමාණෝ සිය සෙනඟට සැබැවින් ම ප්‍රේම කරන සේක, සියලු සැදැහැවත්හු එතුමන් අතෙහි ය; ඔව්හු, ඔබේ පාමුල හිඳ ඔබේ වචන පිළිගන්නෝ ය;</verse>
				<verse number="4">ජාකොබ්ගේ පෙළපතට උරුම කොට දුන් මෝසෙස් පැනවූ ව්‍යවස්ථා පිළිගන්නෝ ය.</verse>
				<verse number="5">ඉශ්රායෙල්වරුන්ගේ ගෝත්‍ර ද ජන නායකයන් ද එක්රැස් වූ විට දෙවිඳාණෝ ඔවුන්ගේ රජ වූ සේක.</verse>
				<verse number="6">“රූබන්ගේ පෙළපත කුඩා වුවත්, එය නොනැසී පවතී වා!”</verse>
				<verse number="7">ජුදාගේ පෙළපත ගැන මෙසේ කී ය: “සමිඳුනි, ජුදාගේ හඬට සවන් දුන මැනව. සෙසු සෙනඟ වෙත ඔවුන් ගෙන ගිය මැනව. ඔවුන් වෙනුවට සටන් කළ මැනව. සතුරන්ට විරුද්ධ ව ඔවුන්ට සහාය වුව මැනව.”</verse>
				<verse number="8">
					ලෙවීගේ පෙළපත ගැන මෙසේ කී ය:
					“මස්සා, නම් ස්ථානයේ දී ඔබ පරීක්ෂා කළ, මෙරිබාහි උල්පත් ළඟ ඔබ සමඟ විවාද කළ සැදැහැවතුන්ට, ඌරිම් සහ තුම්මීම් දානය කළ මැනව.
				</verse>
				<verse number="9">ඔව්හු සිය දෙමාපියන් අමතා, ‘අපි ඔබ නුදුටිමු’යි කී හ; සිය සෝයුරන් නොපිළිගත්හ; සිය දරුදැරියන් නොදත්හ; ඔව්හු ඔබ වදන් රැක ඔබ ගිවිසුම ඉටු කළහ.</verse>
				<verse number="10">ඔව්හු ජාකොබ්ගේ පෙළපතට නියෝග ද, ඉශ්රායෙල් ජනතාවට ව්‍යවස්ථාව ද උගන්වති; ඔබ අබියස සුවඳ දුම් අල්ලති; පුදසුන් මත දවන යාග පුදති.</verse>
				<verse number="11">සමිඳුනි, ඔවුන්ගේ ශක්තියට ආසිරි දුන මැනව. ඔවුන්ගේ අත්කම් පිළිගත මැනව. ඔවුන්ට එරෙහි ව නැඟිටින්නන් ඔවුන්ගේ විරුද්ධවාදීන් යළිත් නොනැඟිටින ලෙස ඔවුන්ගේ තුනටියට පහර දුන මැනව.”</verse>
				<verse number="12">බෙන්ජමින්ගේ පෙළපත ගැන මෙසේ කී ය: “එම්බා සමිඳුන්ගේ පෙම්වත! එතුමන් කෙරෙහි ඔවුන් සුරැකි ව වසනු ඇත. දවස පුරා සමිඳාණන් ඔහුට රැකවරණය දෙනු ඇත. එතුමන්ගේ රැකවරණය තුළ ඔහු වසනු ඇත.”</verse>
				<verse number="13">ජෝසෙප්ගේ පෙළපත ගැන මෙසේ කී ය: “සමිඳාණෝ ඔවුන්ගේ රටට ආසිරි වස්වනු සේක් වා! අහසින් වැටෙන පිනි බිඳු සම්පත ද පොළොව යට ඇති අගනා සම්පත ද</verse>
				<verse number="14">හිරු රැසින් උපදින ප්‍රණීත පල ද සඳ සමඟ උපදින වටිනා අස්වැන්න ද</verse>
				<verse number="15">පැරණි උස කඳුකරයේ අගනා දේ ද සදාතන හෙල්වල වටිනා වස්තු ද</verse>
				<verse number="16">ගොඩ මඩ සරුසාර අස්වැන්න ද පඳුරේ සිට කතා කළ තැනැන් වහන්සේගේ ප්‍රසාදය ද යන සියලු ආසිරි ජෝසෙප්ගේ පෙළපත පිට පහළ වේ වා! සිය සොහොයුරන් අතර රජ කුමරු ඔහුගේ පරපුර පිට පහළ වේ වා!</verse>
				<verse number="17">ඔවුන්ගේ මහිමය, ගව කුලුඳුලාගේ මහිමය මෙන් ය; ඒ බලය, කුළු හරකාගේ අං මෙන් ය. ඒ බලයෙන් පොළොවේ කෙළවරට ඔහු, ජනයා නෙරපාදමයි. එප්‍රායිම්ගේ පරපුරෙහි දස දහස ද මනස්සේගේ පරපුරෙහි දහස් ගණන ද මේ ජනයා වෙති.”</verse>
				<verse number="18">සාබුලොන්ගේ පෙළපත ගැන මෙසේ කී ය: “එම්බා සාබුලොන්! ඔබ පිටත යන විට ප්‍රීති වන්න. එම්බා ඉස්සාකර්! ඔබේ කූඩාරම් තුළ සිටින විට ප්‍රීති වන්න.</verse>
				<verse number="19">ඔව්හු කන්දට සෙනඟ කැඳවති, දැහැමි පූජා එහි පුදති. සමුදුරේ ඇති සම්පත ද වෙරළෙහි සැඟවුණු නිධානය ද ඔව්හු ඇදගනිති.”</verse>
				<verse number="20">ගාද්ගේ පෙළපත ගැන මෙසේ කී ය: “ගාද් දේශය පුළුල් කරන හිමි හට ආසිරි වේ වා! ගාද් සිහදෙනක මෙන් නිදා සිටියි. සතුරන්ගේ බාහුව හා හිස් මුදුන ඉරාදමයි.</verse>
				<verse number="21">දේශයේ හොඳ ම කොටස ගාද් තමාට ම ගත්තේ ය. නායකයාට හිමි පංගුව ඔහුට ම හිමි විය. සෙනඟගේ ප්‍රධානීන් වෙතට පැමිණ ඉශ්රායෙල් ජනයා සමඟ සමිඳාණන්ගේ යුක්තිය ද එතුමන්ගේ අණපණත් ද ඔව්හු ඉටු කළෝ ය.”</verse>
				<verse number="22">දාන්ගේ පෙළපත ගැන මෙසේ කී ය: “දාන්, බාෂාන් සිට පැන එන්නෙකි; සිංහ පොව්වෙකි.”</verse>
				<verse number="23">නප්තලීගේ පෙළපත ගැන මෙසේ කී ය: “එම්බා නප්තලී! ප්‍රසාදයෙන් සෑහීමට පත්, සමිඳුන්ගේ ආසිරියෙන් පිරිපුන් ඔබ, අපර දිග ද දකුණු දිග ද හිමි කරගන්න.”</verse>
				<verse number="24">ආෂෙර්ගේ පෙළපත ගැන මෙසේ කී ය: “හැමට වඩා ආෂෙර්ට ආසිරි වේ වා! තම සෝයුරන් අතර ප්‍රියමනාප වේ වා! සිය පා, තෙලෙහි ගල්වා ගනී වා!</verse>
				<verse number="25">ඔබ දොරටු අගුල් යකඩ සහ ලෝකඩින් වේ වා! දිවි ඇති තාක් බලයෙන් වෙසේ වා!</verse>
				<verse number="26">ඉශ්රායෙල් දෙවිඳුන්ට සම අන් කෙනෙක් නැත. එතුමාණෝ ඔබට සහාය වනු වස් අහස පීරා වලාකුළු අරා තෙද මහිමයෙන් වඩිනා සේක.</verse>
				<verse number="27">සදාතන දෙවිඳාණෝ ඔබේ සරණය වේ! එතුමන් සදාතන බාහු බලය ඔබ ආධාරය වේ. එතුමාණෝ ඔබ ඉදිරියෙන් සතුරන් පලවා හරින සේක. ‘ඔව්හු වැනසෙත් වා!’යි අණ දෙන සේක.</verse>
				<verse number="28">ඉශ්රායෙල් ජනයා සුරැකි ව වසනු ඇත. ජාකොබ්ගේ පෙළපත ධාන්‍ය ද කෙත් හා මිදියුස ද ඇති සරුසාර රටක වසනු ඇත. අහස් තලය පිනි බිඳු වස්වනු ඇත.</verse>
				<verse number="29">එම්බා ඉශ්රායෙල් ජනයෙනි, ඔබේ වාසනාවක මහත! සමිඳු මිදූ සෙනඟකි, ඔබ. ඔබ හා සමාන කිසිවෙක් නැත. ඔබට ආධාර වන පලිහ, ඔබට ජයසිරි දෙන කඩුව, සමිඳාණෝ ය. ඔබේ සතුරෝ වැටී කමාව ඉල්ලා එන්නෝ ය. ඔබ ඔවුන්ගේ ගිරිකුළු දේවාල පයින් පාගා පොඩි කරදමන්නහු ය.”</verse>
			</chapter>
			<chapter number="34">
				<verse number="1">ඉක්බිති මෝසෙස් මෝවබ් නම් මිටියාවතින්, නෙබෝ නම් කඳුකරයට ගොස්, ජෙරිකෝ නගරයට ඉදිරියෙන් පිහිටි පිස්ගා කඳු මුදුනට නැංගේ ය. එහි දී සමිඳාණන් වහන්සේ ඔහුට දාන් නගරය දක්වා විහිදුණු මුළු ගිලියද් දේශය ද</verse>
				<verse number="2">නප්තලීගේ මුළු දේශය ද එප්‍රායිම්ගේ සහ මනස්සේගේ දේශයෙන් ද මධ්‍යධරණි මුහුද දක්වා පිහිටි ජුදාගේ මුළු දේශය ද</verse>
				<verse number="3">දකුණු දිග ද ඉඳි ගස් නගරය යන අර්ථය ඇති ජෙරිකෝව පිහිටි මිටියාවතේ සිට ශෝවර් දක්වා තිබෙන තැනිතලාව ද පෙන්වූ සේක.</verse>
				<verse number="4">ඉන්පසු සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “ ‘නුඹේ ගෝත්‍රයට දෙන්නෙමි’යි කියා ආබ්‍රහම් ද ඊසාක් සහ ජාකොබ්ට ද දිවුළ දේශය මේ ය. දේශය නුඹේ දෙනෙතින් දකින්නට සැලැස්වීමි. එහෙත්, නුඹ ඊට ඇතුළු නො වන්නෙහි ය”යි වදාළ සේක.</verse>
				<verse number="5">මෙසේ සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස්, උන් වහන්සේ වදාළ පරිදි මෝවබ් දේශයේ දී මියගියේ ය.</verse>
				<verse number="6">උන් වහන්සේ බෙත්-පෙයො‍්ර් නම් නගරයට ඉදිරියෙන් වූ මෝවබ් දේශයෙහි තැනිතලාවක ඔහු භූමදාන කළ සේක. කිසිවෙක් අද දක්වා ඔහුගේ සොහොන් පළ නොදනිති.</verse>
				<verse number="7">මෝසෙස් මියයන විට ඔහුට වයස අවුරුදු එකසිය විස්සකි. ඔහුගේ ඇස් පෙනීම හොඳට තිබිණි. ශරීර ශක්තිය ද අඩු නො වී ය.</verse>
				<verse number="8">ඉශ්රායෙල් ජනතාව මෝවබ් මිටියාවතේ මෝසෙස් ගැන දවස් තිහක් හඬා වැලපුණෝ ය. හඬා වැලපෙන කාලය ද අවමංගල්‍යයේ වත්පිළිවෙත් කාලය ද නිම විය.</verse>
				<verse number="9">මෝසෙස්, නූන්ගේ පුත් ජෝෂුවා පිට තම අත් තැබූ බැවින්, ඔහු ප්‍රඥානුභාවයෙන් පූර්ණ වූයේ ය. ඉශ්රායෙල් ජනතාව ද ඔහුට කීකරු වී සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ ලෙස කළෝ ය.</verse>
				<verse number="10">සමිඳාණන් වහන්සේ මුහුණට මුහුණ ලා ඇඳිනගත් මෝසෙස්ට සමාන දිවැසිවරයෙක් ඉන්පසු ඉශ්රායෙල්වරුන් අතර තවත් නො වී ය.</verse>
				<verse number="11">සමිඳාණන් වහන්සේ විසින් යවනු ලැබ, මිසර දේශයෙහි පාරාවෝ ද ඔහුගේ සියලු නිලධාරීන් ද මුළු සෙනඟ ද ඉදිරියෙහි හාස්කම් සහ අරුමපුදුම දේ කළ ඔහුට සමාන අන් දිවැසිවරයෙක් නො වී ය.</verse>
				<verse number="12">මුළු ඉශ්රායෙල් ජනතාව බලා සිටිය දී සිය බාහු බලයෙන් මහත් ත්‍රාසජනක දේවල් ද කළ ඔහුට සමාන අන් දිවැසිවරයෙක් නො වී ය.</verse>
			</chapter>
		</book>
		<book number="6">
			<chapter number="1">
				<verse number="1">සමිඳාණන් වහන්සේගේ සේවක වූ මෝසෙස්ගේ මරණයෙන් පසු, ඔහුගේ සහකාර වූ නූන්ගේ පුත් ජෝෂුවාට උන් වහන්සේ කතා කොට, මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“මාගේ සේවක වූ මෝසෙස් මළේ ය. දැන් ඉතින් නුඹත්, මේ මුළු සෙනඟත් නැඟිට, ඔවුන්ට එනම්, ඉශ්රායෙල් ජනතාවට මා දෙන්නට යන දේශයට ජොර්දාන් ගඟින් එගොඩ වී යන්න.</verse>
				<verse number="3">මා මෝසෙස්ට දැන්වූ පරිදි නුඹලා පා තබන සෑම ස්ථානයක් ම මම නුඹලාට දෙමි.</verse>
				<verse number="4">පාළුකරය හා මේ ලෙබනොන් දේශය පටන් මහා ගංගාව වන යුප්‍රටීස් ගංගාව දක්වා ඇති, හිත්තීවරුන්ගේ මුළු රට ද අපරදිග මහ මුහුද දක්වා ද නුඹලාගේ දේශ සීමා වනු ඇත.</verse>
				<verse number="5">දිවි ඇති තාක් නුඹලාට විරුද්ධ ව කිසිවෙකුට නැඟී සිටින්නට නොහැකි වන්නේ ය. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන් නුඹ සමඟත් සිටින්නෙමි. මම නුඹ කෙරෙන් අහක් ව යන්නේ වත්, නුඹ අත්හරින්නේ වත් නැත.</verse>
				<verse number="6">ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. මන්ද, මේ සෙනඟට දෙන හැටියට මා ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය නුඹ ඔවුන්ට උරුම කොට දෙන්නෙහි ය.</verse>
				<verse number="7">මාගේ සේවක වූ මෝසෙස් අණ කළ සියලු නීති අනුව ක්‍රියා කිරීමට බලාගන්නා ලෙස ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. නුඹ යන යන සෑම තැන දී ම නුඹට ශුභසිද්ධ වන පිණිස එම නීතිය අකුරට ම පිළිපදින්න.</verse>
				<verse number="8">මේ නීති සංග්‍රහය නුඹ නිතර ම කියවිය යුතු ය. එහි ලියා තිබෙන සියල්ල අනුව ක්‍රියා කරන පිණිස ඒ ගැන දිවා රෑ දෙක්හි භාවනා කළ යුතු ය. එවිට නුඹ කරන දේ සඵල වී නුඹට ශුභසිද්ධිය සැලසෙනු ඇත.</verse>
				<verse number="9">ශක්තිමත් ව, ධෛර්යවත් ව සිටීමට ද බිය නොවීමට ද නොකැළඹීමට ද මා නුඹට අණ කළා නොවේ ද? මන්ද, නුඹ යන සෑම තැනක ම නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹ සමඟ වැඩසිටින සේක.”</verse>
				<verse number="10">එවිට ජෝෂුවා සෙනඟගේ නිලධාරීන් අමතා,</verse>
				<verse number="11">“ඔබ කඳවුර මැදින් ගොස් සෙනඟට කතා කොට, ‘දෙවි සමිඳාණන් වහන්සේ උරුමය වශයෙන් ඔබට දෙන දේශය හිමි කරගැනීමට තව දවස් තුනකින් ඔබ හැම මේ ජොර්දාන් ගඟින් එතෙර යන හෙයින් ඒ සඳහා කෑම සූදානම් කරගන්න’ කියා අණ කරන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="12">ඉන්පසු ජෝෂුවා රූබන්වරුන්ට ද ගාද්වරුන්ට ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයට ද කතා කොට,</verse>
				<verse number="13">“සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස් ඔබ හැමට අණ කරමින් කී දේ, එනම්, ‘දෙවි සමිඳාණන් වහන්සේ ඔබ හැමට විවේක ස්ථානයක් සඳහා මේ දේශය දෙන සේක’ යන්න සිහිකරන්න.</verse>
				<verse number="14">මෝසෙස් ජොර්දාන් ගඟින් මෙගොඩ ඔබට දී තිබෙන දේශයෙහි ඔබේ භාර්යාවන් ද කුඩා දරුවන් ද ගවමහිෂයන් ද පදිංචි වනු ඇත. එහෙත්, ඔබ අතර සියලු බලසම්පන්න පුරුෂයන් සන්නාහ සන්නද්ධ ව ඔබේ සහෝදරයන්ට පෙරටුව යමින් ඔවුන්ට උපකාර කරනු ඇත.</verse>
				<verse number="15">දෙවි සමිඳාණන් වහන්සේ ඔබට මෙන් ඔබේ සහෝදරයන්ට විවේකය දෙන තෙක් ද උන් වහන්සේ ඔවුන්ට දෙන දේශය අයිති කරගන්න තෙක් ද ඔබ එලෙස ඔවුන්ට උපකාර කළ යුතු ය. ඉන්පසු සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස් ජොර්දාන් ගඟින් එහා පෙරදිග දිශාවෙහි ඔබ හැමට දුන්, ඔබට අයිති වන දේශයට හැරී අවුත් එය භුක්ති විඳීමට පටන්ගන්නෝ ය”යි කීවේ ය.</verse>
				<verse number="16">එවිට ඔව්හු ජෝෂුවාට පිළිතුරු දෙමින්, “ඔබ අපට අණ කළ සියල්ල ම අපි කරන්නෙමු; ඔබ අප යවන කොතැනට වුව ද අපි යන්නෙමු.</verse>
				<verse number="17">සියල්ලේ දී අප මෝසෙස්ට කීකරු වූ ලෙස ඔබටත් කීකරු වන්නෙමු. දෙවි සමිඳාණන් වහන්සේ මෝසෙස් සමඟ වැඩ සිටියාක් මෙන් ඔබ සමඟ ද වැඩ සිටින සේක් වා!</verse>
				<verse number="18">යමෙක් ඔබේ අණපණත්වලට විරුද්ධ ව කැරලි ගසමින්, ඔබ ඔහුට අණ කරන සියල්ලේ දී ඔබට අකීකරු වුවොත්, ඔහු මරණයට පත් කළ යුතු වන්නේ ය. ඔබ ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්නැ”යි කීවෝ ය.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">නූන්ගේ පුත් ජෝෂුවා ෂිට්ටිම් නම් ස්ථානයේ සිට මිනිසුන් දෙදෙනකු ඔත්තු බැලීමට රහසින් පිටත් කර යවමින්, “ඔබ දෙදෙනා විශේෂයෙන් ගොස් ජෙරිකෝ ප්‍රදේශය පරීක්ෂා කර බලන්නැ”යි කීවේ ය. ඔව්හු ගොස් රාහාබ් නම් වෙසඟනකගේ ගෙදරට පැමිණ එහි නවාතැන් ගත්හ.</verse>
				<verse number="2">එවිට, “දේශයෙහි ඔත්තු බලන පිණිස ඉශ්රායෙල් ජනයාගෙන් කීප දෙනෙක් අද රෑ මෙහි ඇවිත් සිටිති”යි ජෙරිකෝවේ රජුට සැළ විය.</verse>
				<verse number="3">මේ දේ ඇසූ ජෙරිකෝවේ රජ, රාහාබ් වෙත පණිවුඩයක් යවමින්, “ඔබ වෙත පැමිණ ඔබේ ගෙට ඇතුළු වී සිටින මිනිසුන් පිටතට ගෙනෙන්න. මන්ද, ඔවුන් පැමිණ සිටින්නේ මුළු දේශයේ ඔත්තු බලන පිණිස ය”යි දැන්වී ය.</verse>
				<verse number="4">ස්ත්‍රිය ද ඒ මිනිසුන් දෙදෙනා කැඳවාගෙන ගොස් ඔවුන් සඟවා තැබුවා ය. ඈ පණිවුඩකාරයන්ට කතා කොට, “මිනිසුන් මා වෙත පැමිණි බව ඇත්තකි. එහෙත්, ඔවුන් ආවේ කොහෙන් ද කියා මම නොදනිමි.</verse>
				<verse number="5">ඇරත්, කළුවර වැටී වාසල් දොරටුව වසන වේලාව පැමිණෙද්දී ඒ මිනිස්සු පිටත් ව ගියෝ ය. ඔවුන් කොහේ ගියා දැ යි මම නොදනිමි. ඉක්මනින් ඔවුන් ලුහුබැඳ යන්න. තවම ඔවුන් අල්ලාගන්නට හැකි වන්නේ ය”යි පැවසුවා ය.</verse>
				<verse number="6">රාහාබ් ඒ මිනිසුන් දෙදෙනා ගෙයි පියස්ස උඩට ගෙන ගොස්, එහි අහුරා තිබුණ හණ දඬු යට ඔවුන් සඟවා තැබුවා ය.</verse>
				<verse number="7">රාජ සේවකයෝ ජොර්දාන් ගඟට යන පාර දිගේ තොටුපළවල් දක්වා ඔවුන් ලුහුබැඳ ගියෝ ය. ඔවුන් නගරයෙන් පිට වූ වහා ම වාසල් දොරටුව වසන ලද්දේ ය.</verse>
				<verse number="8">ඒ මිනිසුන් දෙදෙනා නිදාගන්නට පෙර ඈ පියස්සේ සිටි ඔවුන් වෙත අවුත්,</verse>
				<verse number="9">ඔවුන්ට මෙසේ කීවා ය: “සමිඳාණන් වහන්සේ මේ දේශය ඔබට දී තිබෙන බව ද ඔබ නිසා අප අතර භීතිය පැතිරී ගොස් තිබෙන බව ද සියලු දේශ වාසීන් ඔබේ පැමිණීම හේතුකොටගෙන මහත් සේ තැතිගෙන සිටින බව ද මම දනිමි.</verse>
				<verse number="10">ඔබ මිසර දේශයෙන් පිටතට එන කල, සමිඳාණන් වහන්සේ ඔබ ඉදිරියෙහි රතු මුහුද වේළී යන්නට සැලැසූ හැටි ද ජොර්දාන් ගඟින් එතෙර සිටි අමෝරිවරුන්ගේ රජුන් දෙදෙනා වන සීහොන්ට සහ ඕග්ට ඔබ කළ දෙය, එනම්, ඔවුන් සහමුලින් විනාශ කළ හැටි ද අප අසා ඇත</verse>
				<verse number="11">මේ කරුණු ඇසූ කෙණෙහි ම අපි අධෛර්ය වී අතිශයෙන් කලකිරුණෙමු. ඔබට විරුද්ධ ව නැඟී සිටින්නට අප කිසිවෙකුට ධෛර්යයක් නො වී ය. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඉහළ අහසෙහිත්, පහළ පොළොවෙහිත් දෙවියන් වහන්සේ වන බැවිනි.</verse>
				<verse number="12">ඉතින් මා ඔබට කරුණාව පෙන්වූ බැවින්, දැන් ඔබ මාගේ පියාගේ පවුලට කරුණාව පෙන්වන බවට සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා ඒ බවට මට සහතිකයක් දෙන්න.</verse>
				<verse number="13">මාගේ පියා ද මව ද සහෝදර සහෝදරියන් ද ඔවුන්ගේ සියලු පවුල් ද ආරක්ෂා කොට, අපේ ජීවිත මරණින් බේරාගන්න.”</verse>
				<verse number="14">එවිට ඒ මිනිස්සු ඈට පිළිතුරු දෙමින්, “අපේ මේ රහස ඔබ එළිදරව් නොකළොත්, ඔබ වෙනුවෙන් දිවි පුදන්නට අපි සූදානම් ය. සමිඳාණන් වහන්සේ මේ දේශය අපට දුන් කල, අපි ඔබ කෙරෙහි කරුණාවෙන් ද හිතවත්කමෙන් ද ක්‍රියා කරන්නෙමු”යි කීවෝ ය.</verse>
				<verse number="15">රාහාබ්ගේ ගෙය නගරයේ පවුර පිට තිබුණේ ය; ඈ ද පවුර පිට වාසය කළා ය. එබැවින් ඈ කඹයකින් ඒ මිනිසුන් දෙදෙනා කවුළුවෙන් බැස්සුවා ය.</verse>
				<verse number="16">ඈ ඔවුන්ට කතා කොට, “ලුහුබැඳ ගිය අයට ඔබ අසු නොවන පිණිස කඳුකරයට පලා යන්න. ඔවුන් ආපසු හැරී එන තුරු එහි තුන් දවසක් සැඟවී සිටින්න. ඉන්පසු ඔබේ ගමන යන්නැ”යි කීවා ය.</verse>
				<verse number="17">ඒ මිනිස්සු ද ඈට පිළිතුරු දෙමින් මෙසේ කී හ: “ඔබ අපෙන් ගත් දිවුරුම අපි ඉටු කරන්නෙමු.</verse>
				<verse number="18">එසේ කරන්නට නම්, අප මේ දේශයට ආ කල මේ රතු නූල් පටිය ඔබ අප බැස්සෙව් කවුළුවේ බැඳ තබා, ඔබේ පියා ද මව ද සහෝදරයන් ද පියාගේ ගෙයි වැසි සියල්ලන් ද ඔබ සමඟ නිවෙසට එක්රැස් කරගන්න.</verse>
				<verse number="19">කිසිවෙකු ඔබේ ගෙදරින් පිට වී වීදියට ගොස් මරණයට පත් වුවහොත් වරද ඔහුගේ ම ය; ඒ ගැන අපි නිදොස් ය. ඔබ සමඟ ගෙදර සිටින යමෙකුට අනතුරක් සිදු වුවහොත් ඔහුගේ මරණය ගැන අප වගකිවයුතු වන්නේ ය.</verse>
				<verse number="20">එහෙත්, ඔබ අපේ මේ රහස් එළිදරව් කළොත්, ඔබ අප ලවා දිවුරුම් ගත් දිවුරුමෙන් අපි නිදහස් වන්නෙමු.”</verse>
				<verse number="21">රාහාබ් පිළිතුරු දෙමින්, “ඔබ කී ලෙස ම වේ වා”යි ඔවුන් පිටත් කර යැව්වා ය. ඔව්හු ද පිටත් ව ගියෝ ය. එවිට ඈ රතු පටිය කවුළුවේ බැන්දා ය.</verse>
				<verse number="22">ඒ මිනිසුන් දෙදෙනා පිටත් වී ගොස් කඳුකරයට පැමිණ, ඔවුන් ලුහුබැඳ ගිය අය ආපසු හැරී එන තුරු තුන් දවසක් එහි නැවතී සිටියෝ ය. ලුහුබැඳ ගිය අය ඒ මිනිසුන් සෑම තැන ම සෙවූ නමුත් ඔවුන් සම්බවුණේ නැත.</verse>
				<verse number="23">එවිට ඒ මිනිසුන් දෙදෙනා ආපසු හැරී, කඳුකරයෙන් බැස, ගඟෙන් එතෙර වී, නූන්ගේ පුත් ජෝෂුවා වෙත පැමිණ තමන්ට සිදු වූ සියල්ල ඔහුට දැන්වූ හ.</verse>
				<verse number="24">ඔව්හු ජෝෂුවාට කතා කොට, “සැබැවින් ම සමිඳාණන් වහන්සේ මේ මුළු දේශය අප අතට පාවා දී තිබේ. දේශයේ වැසියන් සියල්ලෝ ම අප කෙරෙහි භීතියෙන් සිටිති”යි කීවෝ ය.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">ජෝෂුවා අලුයම නැඟිට, මුළු ඉශ්රායෙල් ජනතාව සමඟ ෂිට්ටිම් නම් ස්ථානයෙන් නික්ම, ජොර්දාන් ගඟබඩට පැමිණ, ඉන් එතෙර වීමට පෙර කඳවුරු බැන්දේ ය.</verse>
				<verse number="2">තුන් දවසකට පසු නිලධාරීහු කඳවුරු මැදින් ගොස්,</verse>
				<verse number="3">සෙනඟට කතා කොට, “දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද ලෙවී පූජකයන් එය උසුලාගෙන යනවා ද ඔබ දකින කල, ඔබ සිටින ස්ථානවලින් පිටත් ව ඒ පසුපස්සේ යන්න.</verse>
				<verse number="4">ඔබ මේ මාර්ගයෙන් කවදාවත් නොගිය බැවින්, යා යුතු මාර්ගය එවිට ඔබ දැනගන්නහු ය. එහෙත්, ඔබ ගිවිසුම් කරඬුවට ළං වී නොයා යුතු ය. එය හා ඔබ අතරේ කිලෝමීටරයක් පමණ දුර තිබිය යුතු ය”යි කීවේ ය.</verse>
				<verse number="5">ජෝෂුවා සෙනඟට කතා කොට, “සමිඳාණන් වහන්සේ හෙට ඔබ අතරේ පුදුම දේ කරන්නට යන බැවින් පවිත්‍ර වන්නැ”යි කී ය.</verse>
				<verse number="6">ඉන්පසු ඔහු පූජකවරුන් අමතමින්, “ගිවිසුම් කරඬුව රැගෙන සෙනඟට පෙරටුවෙන් යන්නැ”යි කීවේ ය. එවිට ඔව්හු එය රැගෙන සෙනඟට පෙරටුව ගියහ.</verse>
				<verse number="7">සමිඳාණන් වහන්සේ ජෝෂුවාට මෙසේ වදාළ සේක: “මා මෝසෙස් සමඟ වැඩ සිටියාක් මෙන් නුඹ සමඟ ද වැඩ සිටින බව සියලු ඉශ්රායෙල්වරුන් දැනගනු පිණිස ඔවුන්ගේ ඇස් ඉදිරියෙහි නුඹ උසස් කිරීමට ද අද දවසේ මම පටන් ගන්නෙමි.</verse>
				<verse number="8">නුඹ ගිවිසුම් කරඬුව උසුලාගෙන යන පූජකවරුන්ට කතා කොට, ‘ඔබ හැම ජොර්දාන් ගඟේ දිය අද්දරට පැමිණි විට එහි නැවතී සිටින්න’ කියා අණ කරන්න.”</verse>
				<verse number="9">එවිට ජෝෂුවා ඉශ්රායෙල් ජනයා අමතමින්, “මෙහි පැමිණ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ වදාළ දේට සවන් දෙන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="10">ඔහු තවදුරටත් මෙසේ කීවේ ය: “ජීවමාන දෙවියන් වහන්සේ ඔබ අතර සිටින බවත්, උන් වහන්සේ නොඅනුමානව ම ඔබ ඉදිරියෙන් කානානිවරුන් සහ හිත්තීවරුන් ද හිවීවරුන් සහ පෙරිස්සිවරුන් ද ගිර්ගාෂිවරුන් සහ අමෝරිවරුන් ද ජෙබුසිවරුන් ද පන්නා දමන බවත් ඔබ මෙයින් දැනගන්නහු ය.</verse>
				<verse number="11">බලන්න, මුළු පොළොවට අධිපති වන සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඔබ පෙරටුවෙන් ජොර්දාන් ගඟට වැඩම කරනු ඇත.</verse>
				<verse number="12">එබැවින් දැන් එක එක ගෝත්‍රයෙන් එක්කෙනා බැගින් ඉශ්රායෙල් ගෝත්‍රවලින් පිරිමින් දොළොස්දෙනෙකු තෝරාගන්න.</verse>
				<verse number="13">මුළු පොළොවට අධිපති වන සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලාගෙන යන පූජකවරුන් ජොර්දාන් ගඟේ දියෙහි පා තැබූ කෙණෙහි ම ඉහළින් ගලා බසින ජලය නතර වී ගොඩගැහී සිටිනු ඇත.”</verse>
				<verse number="14">සෙනඟ ජොර්දාන් ගඟින් එතෙරට යන්නට තමන්ගේ කූඩාරම්වලින් නික්ම ගිය විට, ගිවිසුම් කරඬුව උසුලාගෙන යන පූජකවරු සෙනඟට පෙරටුවෙන් ගියෝ ය.</verse>
				<verse number="15">ගිවිසුම් කරඬුව උසුලාගෙන ගිය පූජකවරු ජොර්දාන් ගඟට පැමිණ දියෙහි පා තැබූ හ. අස්වැන්න නෙළන මුළු කාලය තුළ දී ජොර්දාන් ගඟේ දිය ඉවුරු තළා උතුරා යයි.</verse>
				<verse number="16">ඔවුන් පා තැබූ වහා ම ඉහළින් බැස එන දිය නැවතී, ඉතා දුරට, ශාරෙතාන් ඉදිරිපිට තිබෙන නුවර වන ආදාම් දක්වා ගොඩගැසුණේ ය. අරබා මිටියාවතෙහි පිහිටි ලුණු මුහුදට බැස යන දිය සම්පූර්ණයෙන් ම වෙන් වී ගියේ ය. සෙනඟ ජෙරිකෝවට මූණ ලා ගඟින් එතෙර වූ හ.</verse>
				<verse number="17">ජොර්දාන් ගඟෙන් එතෙර වනතෙක්, ඉශ්රායෙල්වරුන් සියලු දෙනා වියළි බිම පිට ගමන් කළ අතර සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරු ජොර්දාන් ගඟ මැද වියළි බිම පිට සිටගෙන සිටියෝ ය.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">මුළු ඉශ්රායෙල් ජාතිය ජොර්දාන් ගඟින් එතෙර වී නිම වූ කල සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට,</verse>
				<verse number="2">“නුඹ එක එක ගෝත්‍රයෙන් එක් කෙනෙකු බැගින් සෙනඟ අතරෙන් දොළොස්දෙනෙකු තෝරාගෙන, ඔවුන් අමතා,</verse>
				<verse number="3">‘ඔබ හැම ජොර්දාන් ගඟේ මැද පූජකවරුන් පා තබා සිටි තැනින් ගල් දොළොසක් රැගෙන, එතෙර ගෙන ගොස්, ඒවා ඔබ හැම අද රෑ නවාතැන් ගන්නා ස්ථානයෙහි තබන්න’ කියා අණ කරන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="4">එවිට ජෝෂුවා ඉශ්රායෙල්වරුන් අතරෙන් එක එක ගෝත්‍රයෙන් එක් කෙනෙකු බැගින් තෝරාගත් දොළොස්දෙනා කැඳවා,</verse>
				<verse number="5">ඔවුන් අමතා, “දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට පෙරටුවෙන් ඔබ ජොර්දාන් ගඟට ගොස් ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍ර අනුව එකිනෙකා ගලක් බැගින් රැගෙන කරේ ගෙන යන්න.</verse>
				<verse number="6">මෙසේ කරන්නේ, ඒවා ඔබ අතරේ සිහිවටනයක් වන පිණිස ය. ‘මේ ගල් තිබෙන්නේ කුමට දැ’යි මතු කාලයේ දී ඔබේ දරුවන් අසන විට,</verse>
				<verse number="7">ඔබ ඔවුන්ට කතා කොට, ‘සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි ජොර්දාන් ගඟෙහි දිය බෙදී ගියේ ය; ඒ කරඬුව ගඟ හරහා වැඩමවාගෙන යන විට, ගඟේ දිය බෙදී ගිය නිසා, මේ ගල් ඉශ්රායෙල් ජනතාවට සදාකාල සිහිවටනයක් වන්නේ ය’යි කිව යුතු ය”යි දැන්වී ය.</verse>
				<verse number="8">ඉශ්රායෙල් ජනතාව ජෝෂුවාගේ අණ පරිදි කළහ. සමිඳාණන් වහන්සේ ජෝෂුවාට වදාළ ලෙස ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල ගණන හැටියට, ජොර්දාන් ගඟ මැදින් ගල් දොළොසක් රැගෙන, තමන් සමඟ මෙතෙරට ගෙනැවිත් ඔවුන් නැවතුන ස්ථානයේ තැන්පත් කළහ.</verse>
				<verse number="9">ජොර්දාන් ගඟ මැද ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරුන් පය ගැසූ ස්ථානයෙහි ද ජෝෂුවා ගල් දොළොසක් තැබී ය. ඒවා අද දක්වා එහි තිබේ.</verse>
				<verse number="10">මෝසෙස් ජෝෂුවාට අණ කළ පරිදි සෙනඟට දැන්වීම සඳහා සමිඳාණන් වහන්සේ ජෝෂුවාට නියම කළ සියලු දේ කියා නිම වන තෙක්, ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරු ජොර්දාන් ගඟ මැද නැවතී සිටියෝ ය. සෙනඟ ඉක්මන් කර එතෙරට ගියෝ ය.</verse>
				<verse number="11">මුළු සෙනඟ ඉක්මන් ව එතෙර වී නිම වූ කල, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව සහ පූජකවරු සෙනඟට පෙරටුවෙන් ගියෝ ය.</verse>
				<verse number="12">රූබන්ගේ පෙළපත ද ගාද්ගේ පෙළපත ද මනස්සේගේ අර්ධ ගෝත්‍රය ද සන්නාහ සන්නද්ධ ව, මෝසෙස් ඔවුන්ට කී ප්‍රකාර, ඉශ්රායෙල්වරුන්ට පෙරටුව එතෙර වූ හ.</verse>
				<verse number="13">යුද්ධයට සැරසුණු සතළිස්දහසක් පමණ අය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මෙතෙර පිහිටි ජෙරිකෝවේ මිටියාවත්වලට යුද්ධය සඳහා පැමිණියෝ ය.</verse>
				<verse number="14">ඒ දවසේ දී සකල ඉශ්රායෙල් ජනතාවගේ ඇස් හමුයෙහි සමිඳාණන් වහන්සේ ජෝෂුවා උසස් කළ සේක. ඔව්හු මෝසෙස්ට ගෞරව කළාක් මෙන් ජෝෂුවාට ද ඔහුගේ මුළු ජීවිත කාලයෙහි ගෞරව දැක්වූවෝ ය.</verse>
				<verse number="15">එවිට සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට,</verse>
				<verse number="16">“ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරුන්ට ජොර්දාන් ගඟින් නැඟී පිටතට එන ලෙස කියන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="17">එබැවින් ඔහු පූජකවරුන්ට අණ කරමින්, “ජොර්දාන් ගඟින් නැඟී පිටතට එන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="18">සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරුන් ජොර්දාන් ගඟින් ගොඩට අවුත්, තමන්ගේ පාද ගොඩබිම තැබූ කෙණෙහි ම ගඟේ දිය ආපසු ගලා ඇවිත් පෙර ලෙස ගං ඉවුරු තළා ගලා ගියේ ය.</verse>
				<verse number="19">මෙලෙස සෙනඟ පළමු වන මාසයේ දස වන දින ජොර්දාන් ගඟින් ගොඩට අවුත්, ජෙරිකෝවට නැගෙනහිර දිශාවෙහි ගිල්ගාල් නම් ස්ථානයෙහි කඳවුරු බැඳගත්තෝ ය.</verse>
				<verse number="20">ඔවුන් ජොර්දාන් ගඟින් ගත් ඒ ගල් දොළොස ජෝෂුවා ගිල්ගාල්හි එක උඩ එක තබා</verse>
				<verse number="21">ඉශ්රායෙල් ජනයා අමතමින්, “ ‘මේ ගල් පිළිවෙළට තබා තිබෙන්නේ කුමට දැ’යි මතු කාලයෙහි දී ඔබේ දරු පරපුර ඔවුන්ගේ පියවරුන්ගෙන් අසන විට</verse>
				<verse number="22">ඔබ ඔවුන්ට පිළිතුරු දෙමින් මෙසේ කියන්න, ‘ඉශ්රායෙල්වරු වියළි බිම දිගේ මේ ජොර්දාන් ගඟෙන් එතෙර වී ආවෝ ය.</verse>
				<verse number="23">ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අප රතු මුහුදෙන් එතෙර වන තුරු එහි දිය, අප බලාගෙන සිටිය දී ම, හින්දවා දැමුවාක් මෙන්, උන් වහන්සේ ජොර්දාන් ගඟේ දිය ද අප බලාගෙන සිටිය දී හින්දවා දැමූ සේක.</verse>
				<verse number="24">උන් වහන්සේ එසේ කෙළේ, මිහි පිට සියල්ලන් සමිඳාණන් වහන්සේගේ හස්තය බලවත් බව දැනගනු පිණිසත්, ඔවුන් දෙවි සමිඳාණන් වහන්සේට සදහට ම ගරුබිය දක්වනු පිණිසත් ය’ කියා දැන්විය යුතු ය”යි කීවේ ය.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">ඉශ්රායෙල් ජනයා එතෙර වන තුරු සමිඳාණන් වහන්සේ ඔවුන් පැමිණෙන්නට කලින් ජොර්දාන් ගඟේ දිය හිඳී යන්නට සැලැසූ බව, ජොර්දාන් ගඟින් එතෙර බස්නාහිර සිටි අමෝරිවරුන්ගේ සියලු රජවරුන් ද මධ්‍යධරණි මුහුදුබඩ විසූ කානානිවරුන්ගේ සියලු රජවරුන් ද ඇසූ කල, ඔව්හු ඉශ්රායෙල් ජනයා නිසා තැති ගෙන අධෛර්යයට පත් වූහ.</verse>
				<verse number="2">එකල සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “ගිනි ගලින් පිහියා සාදා, ඉශ්රායෙල් ජනයා තවත් වරක් චර්මඡේදනය කරන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="3">එවිට ජෝෂුවා ගිනි ගලින් පිහියා සාදා, චර්මඡේදන-කන්ද නම් ස්ථානයේ දී ඉශ්රායෙල්වරුන් චර්මඡේදනය කෙළේ ය.</verse>
				<verse number="4">ජෝෂුවා චර්මඡේදනය කෙළේ මේ කරුණ නිසා ය: මිසර දේශයෙන් පිටත් ව පැමිණි සියලු භට සෙනඟ වූ පිරිමි, මිසරයෙන් නික්ම ආ පසු, මඟ දී පාළුකරයේ මියගියහ.</verse>
				<verse number="5">නික්ම ආ සියලු සෙනඟ චර්මඡේදනය ලබා සිටිය නමුත්, මිසරයෙන් එන කල, මඟ දී පාළුකරයෙහි උපන් සෙනඟ චර්මඡේදනය නොලැබූ හ.</verse>
				<verse number="6">ඉශ්රායෙල් ජනයා සතළිස් අවුරුද්දක් මුළුල්ලේ පාළුකරයෙහි ගමන් කළෝ ය. ඒ කාලය තුළ දී මිසරයෙන් පිටත් ව ආ සියලු භට සෙනඟ සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවූ බැවින් මියගියහ. මෙසේ වූයේ, අපට දෙන හැටියට සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුරුම් දුන්, කිරෙන් හා මීපැණියෙන් ඉතිරෙන දේශය දකින්නට ඔවුන්ට ඉඩ නාරින ලෙස උන් වහන්සේ දිවුළ නිසා ය.</verse>
				<verse number="7">උන් වහන්සේ ඒ පියවරුන් වෙනුවට ඔවුන්ගෙන් පැවත ආ දරු පරපුරක් ඇති කළ සේක. පාළුකරය මැදින් ගමන් කරද්දී චර්මඡේදනය නොකරනු ලැබූ බැවින් ඔව්හු අචර්මඡේදිතයෝ වූ හ. ජෝෂුවා මොවුන් චර්මඡේදනය කෙළේ ය.</verse>
				<verse number="8">මුළු සෙනඟ චර්මඡේදනය කර නිම වූ කල, ඔව්හු සුව වන තුරු කඳවුරේ නැවතී සිටියෝ ය.</verse>
				<verse number="9">එවිට සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “මම අද නුඹලා කෙරෙන් මිසරයේ වහල්කමෙන් ලත් අපකීර්තිය ඉවත් කෙළෙමි”යි වදාළ සේක. ඒ නිසා ඒ ස්ථානයට ගිල්ගාල් යයි කියනු ලැබී ය.</verse>
				<verse number="10">ඉශ්රායෙල් ජනයා ගිල්ගාල්හි කඳවුරු බැඳ, මාසයේ දස සතර වන දින සවස ජෙරිකෝවේ මිටියාවතේ දී පාස්කු මංගල්‍යය පැවැත්වූ හ.</verse>
				<verse number="11">පාස්කුවට පසු දින ඔව්හු දේශයේ ධාන්‍යවලින් සෑදූ නුමුහුන් රොටි හා විළඳ අනුභව කළෝ ය.</verse>
				<verse number="12">ඔවුන් දේශයේ ධාන්‍යයෙන් අනුභව කළ දාට පසු දින, මන්නා ආහාරය වැටීම නැවතිණි. ඉශ්රායෙල් ජනයාට ඊට පසු මන්නා නොලැබුණ හෙයින් ඔව්හු ඒ අවුරුද්දේ පටන් කානාන් දේශයේ භවභෝග අනුභව කළෝ ය.</verse>
				<verse number="13">ජෝෂුවා ජෙරිකෝ නුවර ළඟ සිටිය දී, තම හිස ඔසවා බැලූ විට, තමා ඉදිරිපිට කොපුවෙන් ඇදගත් කඩුවක් ඇති මිනිසෙකු සිටිනු දුටුවේ ය. ජෝෂුවා ඔහු සමීපයට ගොස්, “ඔබ අපේ පැත්තට ද නැතහොත් අපේ විරුද්ධ කාරයන්ගේ පැත්තට දැ”යි විචාළේ ය.</verse>
				<verse number="14">ඔහු පිළිතුරු දෙමින්, ‘එසේ නොවේ; සමිඳාණන් වහන්සේගේ සේනාවේ අධිපතියා ව මම දැන් ආවෙමි”යි කීවේ ය. එවිට ජෝෂුවා මුණින්තළා වී ඔහුට නමස්කාර කරමින්, “ස්වාමීන් වහන්ස ඔබේ මෙහෙකරුවාට කුමක් වදාරන සේක් දැ”යි ඇසී ය.</verse>
				<verse number="15">සමිඳාණන් වහන්සේගේ සේනාවේ අධිපතියා ජෝෂුවාට කතා කොට, “නුඹ සිටින තැන ශුද්ධ භූමියක් නිසා නුඹේ පාවහන් ගලවන්නැ”යි කීවේ ය. ජෝෂුවා ද එසේ කෙළේ ය.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">ජෙරිකෝව ඉශ්රායෙල් ජනයාගෙන් ආරක්ෂා කරගනු පිණිස එය අගුල් දමා වසා තිබුණේ ය. කිසිවෙකු පිටතට ගියේ වත්, ඇතුළතට ආවේ වත් නැත.</verse>
				<verse number="2">සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “සවන් දෙන්න, ජෙරිකෝව ද එහි රජු ද බලවත් යුද්ධ භටයන් ද නුඹේ අතට මම පාවා දෙන්නෙමි.</verse>
				<verse number="3">යුද්ධ භටයන් වන නුඹලා සියල්ලන් දවසකට එක වරක් බැගින් හය දවසක් මුළුල්ලේ නුවර වටේට යා යුතු ය.</verse>
				<verse number="4">පූජකවරුන් සත්දෙනෙකු බැටළු අං හොරණෑ සතක් රැගෙන ගිවිසුම් කරඬුවට පෙරටුවෙන් යා යුතු ය. සත් වන දවසේ දී සත්වරක් නුවර වටේට ගමන් කරන්න; පූජකවරු ද හොරණෑ පිඹිත් වා!</verse>
				<verse number="5">තවද, ඔවුන් බැටළු අං හොරණෑවෙන් බොහෝ වේලාවක් ශබ්ද පවත්වන විට, ඒ හොරණෑ ශබ්දය නුඹලාට ඇසුණු කල, සකල ජනයා මහත් ඔල්වර හඬක් නඟත් වා! එවිට නුවර පවුර ඇද වැටෙන්නේ ය. සෙනඟ ද එකිනෙකා කෙළින් ම නුවර ඉදිරියට යන්නෝ යැ”යි වදාළ සේක.</verse>
				<verse number="6">එවිට නූන්ගේ පුත් ජෝෂුවා පූජකයන් කැඳවා ඔවුන් අමතා, “ගිවිසුම් කරඬුව ඔසවාගන්න, පූජකවරුන් සත්දෙනෙක් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරිපිට බැටළු අං හොරණෑ සතක් ගෙන යත් වා!”යි කීවේ ය.</verse>
				<verse number="7">ඔහු සෙනඟටත් කතා කොට, “ඉදිරිපත් වී නුවර වටේට යන්න, ආයුධ ගත් පුරුෂයෝ සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට ඉදිරියෙන් යත් වා!”යි කීවේ ය.</verse>
				<verse number="8">ජෝෂුවා සෙනඟට කතා කොට නිම වූ කල, පූජකවරු සත්දෙනා බැටළු අං හොරණෑ සතක් ගෙන, සමිඳාණන් වහන්සේ ඉදිරිපිට යමින් හොරණෑ පිම්බෝ ය. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඔවුන්ට පස්සෙන් ගෙනයනු ලැබී ය.</verse>
				<verse number="9">සන්නාහ සන්නද්ධ වූ භටයෝ හොරණෑ පිඹින පූජකවරුන්ට පෙරටුවෙන් ගියෝ ය. පූජකයන් හොරණෑ පිඹිමින් යද්දී සෙසු අය ගිවිසුම් කරඬුවට පස්සෙන් ගියෝ ය.</verse>
				<verse number="10">ජෝෂුවා සෙනඟට අණ කරමින්, “ඔල්වර හඬ නඟන්නට මා ඔබ හැමට කියන දවස දක්වා ඔබ හැම ඔල්වර හඬ නොනැඟිය යුතු ය. ඔබ හැමගේ කට හඬ ඇසෙන්නට වත්, ඔබේ කටින් කිසිවක් නික්මෙන්නට වත් නොදිය යුතු ය. මා අණ කළ විට ඔල්වර හඬ නැඟිය යුතු ය”යි කීවේ ය.</verse>
				<verse number="11">මෙසේ ජෝෂුවා සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව නුවර වටේට එක වරක් කර උඩ තබාගෙන යනු ලැබීමට සැලැස්වී ය. එය ගෙන ගිය ඔව්හු කඳවුරට ආපසු අවුත් රාත්‍රිය එහි ගත කළෝ ය.</verse>
				<verse number="12">පසු දින අලුයම ජෝෂුවා අවදි විය; පූජකවරු ද සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඔසවාගත්තෝ ය.</verse>
				<verse number="13">පූජකවරු සත්දෙනා සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට පෙරටුවෙන් බැටළු අං හොරණෑ සත රැගෙන නොනැවතී හොරණෑ පිඹිමින් ගියෝ ය. සන්නාහ සන්නද්ධ ව සිටි අය ඔවුන්ට පෙරටුවෙන් ගියෝ ය; පූජකයන් හොරණෑ පිඹිමින් යද්දී, සෙසු අය සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට පස්සෙන් ගියෝ ය.</verse>
				<verse number="14">මෙසේ දෙ වන දවසේ දී නුවර වටේට එක වරක් ගොස් ඔව්හු ආපසු කඳවුරට ආවෝ ය. හය දවසක් ඔව්හු එසේ කළෝ ය.</verse>
				<verse number="15">සත් වන දින අලුයම් වේලේ ඔව්හු නැඟිට එම ආකාරයෙන් ම සත්වරක් නුවර වටේට ගියෝ ය. ඔව්හු එදින පමණක් සත්වරක් නුවර වටේ ගමන් කළෝ ය.</verse>
				<verse number="16">සත් වන වර පූජකවරුන් හොරණෑ පිම්බ කල ජෝෂුවා, “ඔල්වර හඬ නඟන්න; මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ හැමට නුවර දී තිබේ.</verse>
				<verse number="17">නුවර හා එහි ඇති සියල්ල සමිඳාණන් වහන්සේ උදෙසා සහමුලින් ම විනාශයට නියම වන්නේ ය. රාහාබ් නම් වේශ්‍යා ස්ත්‍රිය, අප යැවූ පණිවුඩකාරයන් සඟවා තැබූ බැවින් ඈ ද ඈ සමඟ ගෙදර සිටින සියල්ලෝ ද පමණක් විනාශ නොවන්නෝ ය.</verse>
				<verse number="18">විනාශයට වෙන් කළ දෙයින් ඔබ වැළකී සිටිය යුතු ය: නැතහොත් වෙන් කළ පසු කැප වූ දෙයින් යමක් ඔබ ගත්තොත්, ඔබ ඉශ්රායෙල් කඳවුර පිට විනාශයක් පැමිණෙන්නට සලස්වා එය කලඹනු ඇත.</verse>
				<verse number="19">රන් රිදී සියල්ල ද ලෝකඩ සහ යකඩ බඩු ද සමිඳාණන් වහන්සේට කැප ය. ඒවා සමිඳාණන් වහන්සේගේ ගබඩාවෙහි තැබිය යුතු ය”යි කීවේ ය.</verse>
				<verse number="20">එසේ පූජකවරු හොරණෑ පිම්බෝ ය; සෙනඟ ඔල්වර හඬ නැඟුවෝ ය: සෙනඟ හොරණෑ ශබ්දය අසා, මහා හඬකින් ඔල්වර හඬ පැවැත්වූවෝ ය. පවුර ඇද වැටිණි; සෙනඟ ද එකිනෙකා කෙළින් ම ඉදිරියට ගොස් නුවර අල්ලාගත්තෝ ය.</verse>
				<verse number="21">ඔව්හු පුරුෂයන් හා ස්ත්‍රීන් ද බාලයන් හා මහල්ලන් ද ගවයන් ද බැටළුවන් ද කොටළුවන් ද යන නුවර සිටි සියල්ලන් කඩු පහරින් සහමුලින් ම විනාශ කරදැම්මෝ ය.</verse>
				<verse number="22">ඔත්තු බලන පිණිස දේශයට ගිය මිනිසුන් දෙදෙනාට ජෝෂුවා කතා කොට, “වේශ්‍යා ස්ත්‍රියගේ ගෙදරට ගොස්, ඔබ ඈට දිවුළ ලෙස ඒ ස්ත්‍රිය සහ ඈට අයිති සියල්ලන් පිටතට ගෙනෙන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="23">ඔත්තුකාරයන් වූ ඒ තරුණයෝ ඇතුළට ගොස් රාහාබ් ද ඇගේ පියා ද මව් ද සහෝදරයන් ද ඈට අයිති සියල්ලන් ද ඇගේ සියලු නෑයන් ද පිටතට ගෙනවුත් ඉශ්රායෙල්වරුන්ගේ කඳවුරෙන් පිටත නතර කළෝ ය.</verse>
				<verse number="24">ඉන්පසු ඔව්හු නුවර හා එහි තිබුණ සියල්ල ගින්නෙන් පුළුස්සා දැමුවෝ ය. රන් රිදී ද ලෝකඩ හා යකඩ බඩු ද ඔව්හු සමිඳාණන් වහන්සේගේ ගෘහයෙහි ගබඩාවෙහි තැන්පත් කළෝ ය.</verse>
				<verse number="25">ජෙරිකෝව සෝදිසි කරන්නට ජෝෂුවා යැවූ ඔත්තුකාරයන්, රාහාබ් නම් වෙසඟන විසින් සඟවනු ලැබූ බැවින් ජෝෂුවා ඈට සහ ඇගේ පියාගේ පවුලට ද ඈට අයිති සියල්ලන්ට ද ජීවත් වන්නට ඉඩ හැරියේ ය. ඈ ඉශ්රායෙල්වරුන් අතරෙහි අද දක්වා වාසය කරන්නී ය.</verse>
				<verse number="26">එවිට ජෝෂුවා දිවුරමින්, “යමෙක් මේ ජෙරිකෝ නුවර ගොඩනඟන්නට උත්සාහ කරන්නේ නම්, ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සාප ලද්දෙක් වේ වා! ඔහු අත්තිවාරම් තබන විට ඔහුගේ කුලුඳුලා ද, එහි දොරටු තබන විට ඔහුගේ බාල පුත්‍රයා ද නැති වනු ඇතැ”යි ඔවුන්ට කීවේ ය.</verse>
				<verse number="27">මෙසේ සමිඳාණන් වහන්සේ ජෝෂුවා සමඟ වැඩ සිටි සේක; ඔහුගේ කීර්තිය දේශය මුළුල්ලෙහි පතළ විය.</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">විනාශයට වෙන් කළ දෙයින් කිසිවක් නොගන්න ලෙස සමිඳාණන් වහන්සේ දුන් ආඥාව ඉශ්රායෙල් සෙනඟ කඩ කළෝ ය. මන්ද, ආකාන් කැප වූ දෙයින් කොටසක් ගත්තේ ය. ඔහු වනාහි ජුදා ගෝත්‍රයට අයිති සෙරාගේ පුත් ශබ්දිගේ පුත්‍රයා වන කර්මීගේ පුත්‍රයා ය. ඒ නිසා සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ඇවිළුණේ ය.</verse>
				<verse number="2">ජෝෂුවා ජෙරිකෝවේ සිට බෙතෙල්ට නැගෙනහිරින් බෙතාවන්ට ආසන්න වූ ආයි නගරයට මිනිසුන් යවමින්, “ඔබ පිටත් ව ගොස් දේශය සෝදිසි කරගෙන එන්නැ”යි ඔවුන්ට කීවේ ය. ඒ මිනිස්සු පිටත් ව ගොස් ආයි නගරය ගැන ඔත්තු බැලුවෝ ය.</verse>
				<verse number="3">ඉන්පසු ඔව්හු ජෝෂුවා වෙත පෙරළා පැමිණ ඔහුට කතා කොට, “සෙනඟ සියලු දෙනා නොයත්වා, දෙතුන් දහසක් පමණ සෙනඟ ගොස් ආයි නගරයට පහර දෙත්වා. ඒ නගරයේ සිටින්නේ ස්වල්ප දෙනෙකු නිසා, සකල ජනයා එහි යැවීමෙන් ඔවුන් වෙහෙසට පත් කරන්නට වුවමනාවක් නැතැ”යි කී හ.</verse>
				<verse number="4">එකී ලෙස සෙනඟගෙන් තුන්දහසක් පමණ එහි ගියෝ ය. එහෙත්, ඔව්හු ආයි නුවර මිනිසුන්ට බියෙන් පලා ගියෝ ය.</verse>
				<verse number="5">ආයි නුවර වැසියෝ ඔවුන්ගෙන් තිස්දෙනෙකු පමණ මැරුවෝ ය. ඔව්හු නුවර දොරටුවේ සිට ෂෙබාරීම් දක්වා ඔවුන් ලුහුබඳවා ගොස් කඳු බෑවුමේ දී ඔවුන්ට පහර දුන්නෝ ය. එවිට ඉශ්රායෙල්වරු අධෛර්යයට පත් වී භීතියෙන් ඇලළී ගියෝ ය.</verse>
				<verse number="6">ජෝෂුවා ශෝකයෙන් තමාගේ වස්ත්‍ර ඉරාගෙන ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් සමඟ සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සවස් වන තෙක් මුණින්තළා වැටී සිටියේ ය. ඔව්හු තමන්ගේ හිස් පිට ධූලි දමාගත්තෝ ය.</verse>
				<verse number="7">ජෝෂුවා කතා කොට, “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, අප විනාශ කරන පිණිස අමෝරිවරුන් අතට අප පාවා දීමට ඔබ මේ සෙනඟ ජොර්දානෙන් මෙගොඩට පැමිණෙව්වේ කුමක් නිසා ද? අනේ! අපි ජොර්දාන් ගඟින් එගොඩ වාසය කරන්නට සතුටු වුණෙමු නම් කොපමණ හොඳ ද?</verse>
				<verse number="8">අහෝ සමිඳාණන් වහන්ස! ඉශ්රායෙල්වරුන් සිය සතුරන්ට පිටුපා පලා ගිය පසු මම කුමක් කියම් ද?</verse>
				<verse number="9">කානානිවරුන් ද දේශයේ සියලු වැසියන් ද ඒ අසා අප වටලා අපේ නාමය පොළොවෙන් මකාදමනු ඇත. එවිට ඔබේ ගරු නාමය රැකීමට ඔබ කුමක් කරන සේක් දැ”යි ඇසී ය.</verse>
				<verse number="10">සමිඳාණන් වහන්සේ ජෝෂුවාට මෙසේ පිළිතුරු දුන් සේක: “නැඟිටින්න; නුඹ කුමක් නිසා මෙසේ මුණින් වැතිරී සිටින්නෙහි ද?</verse>
				<verse number="11">ඉශ්රායෙල්වරුන් පව් කර ඇත; එසේ ය, මා ඔවුන්ට අණ කළ මාගේ ගිවිසුම ඔවුන් කඩ කර තිබේ. ඔවුන් මට කැප කරන ලද දෙයින් රැගෙන සොරකම් කර, ඒවා සඟවා, ඒවා තමන්ගේ ම බඩු අතරේ තබා තිබේ.</verse>
				<verse number="12">ඉශ්රායෙල් සෙනඟට තමන්ගේ සතුරන්ට මූණපෑමට නොහැකි වූයේ ඒ නිසා ය. සාපයට අසු වූ බැවින් ඔව්හු තමන්ගේ සතුරන්ට පිටුපාති. ඒ කැප කරන ලද දේ නුඹලා කෙරෙන් විනාශ කර නොදැමුවොත් මම තවත් නුඹලා සමඟ නොසිටින්නෙමි.</verse>
				<verse number="13">නුඹ නැඟිට සෙනඟ පවිත්‍ර කරන්න; ඔවුන්ට කතා කොට, ‘ඔබ හෙට පවිත්‍ර වන්න. මන්ද, ඉශ්රායෙල්වරුනි, ඔබ අතරේ කැප කරන ලද දෙයක් ඇත; කැප කරන ලද ඒ දේ ඔබ අතරෙන් පහකරන තුරු ඔබේ සතුරන්ට මූණ දෙන්නට ඔබට නොහැකි වන්නේ යයි ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="14">ඒ නිසා හෙට ඔබ හැම ඒ ඒ ගෝත්‍ර වශයෙන් පැමිණෙන්න. සමිඳාණන් වහන්සේ තෝරාගන්න ගෝත්‍රය පෙළපත් වශයෙන් ඉදිරියට පැමිණෙන්නෝ ය. සමිඳාණන් වහන්සේ තෝරාගන්න පෙළපත ද පවුල් වශයෙන් පැමිණෙන්නෝ ය. සමිඳාණන් වහන්සේ තෝරාගන්න පවුල එකිනෙකා වශයෙන් පැමිණෙන්නේ ය.</verse>
				<verse number="15">කැප කරන ලද දෙය ගත් තැනැත්තා මෙසේ අසු වූ කල්හි ඔහු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම කඩ කළ නිසාත්, ඉශ්රායෙල්හි දුෂ්ටකමක් කළ නිසාත් ඔහු හා ඔහු සන්තක සියල්ල ගින්නෙන් පුළුස්සා දැමිය යුතු ය’යි ඔවුන්ට කියන්න.”</verse>
				<verse number="16">ජෝෂුවා අලුයම නැඟිට ඉශ්රායෙල්වරුන් ඔවුන්ගේ ගෝත්‍ර වශයෙන් ඉදිරියට ගෙන්වාගත්තේ ය. ජුදා ගෝත්‍රය අසු විය.</verse>
				<verse number="17">ඔහු ජුදා ගෝත්‍රය ඉදිරියට ගෙන්වූ විට ශෙරාවරුන්ගේ පවුල අසු විය. ශෙරාගේ පවුල එක එක පෙළපත වශයෙන් ඉදිරියට ගෙන්වූ විට ශබ්දිගේ පෙළපත අසු විය.</verse>
				<verse number="18">ඔහුගේ පෙළපත එකිනෙකා වශයෙන් ඉදිරියට ගෙන්වූ විට ජුදා ගෝත්‍රයට අයිති ශෙරාගේ පුත් ශබ්දිගේ පුත්‍රයා වන කර්මීගේ පුත් වූ ආකාන් අසු විය.</verse>
				<verse number="19">ජෝෂුවා ආකාන්ට කතා කොට, “මාගේ පුත්‍රය, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ගෞරවය දී උන් වහන්සේට ඇත්ත කියා, ඔබ කළ වරද මාගෙන් නොසඟවා, මට දන්වන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="20">ආකාන් පිළිතුරු දෙමින්, “සැබැවින් මම ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමි. මා කළ දෙය මෙය යි:</verse>
				<verse number="21">කොල්ලය අතරේ ශෝභන බබිලෝනීය සළුවක් ද රිදී කාසි දෙසියයක් ද රිදී කාසි පණසක් බර ඇති රන් පොල්ලක් ද දැක, මම ඒවාට ආසා වී ඒවා ගත්තෙමි; ඒවා මාගේ කූඩාරම මැද පොළොව යට සඟවා තිබේ. ඊට යටින් රිදී තිබේ ය”යි කීවේ ය.</verse>
				<verse number="22">එවිට ජෝෂුවා පණිවුඩකාරයන් යැව්වේ ය. ඔව්හු කූඩාරමට දිව ගොස් ඒවා ද ඒවා යට රිදී ද ආකාන්ගේ කූඩාරමේ සඟවා තිබුණු බව සොයාගත්තෝ ය.</verse>
				<verse number="23">ඔව්හු කූඩාරම මැදින් ඒවා ගෙන ගොස් ජෝෂුවා වෙත ද මුළු ඉශ්රායෙල් සෙනඟ වෙත ද ගෙනවුත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තැබූ හ.</verse>
				<verse number="24">එවිට ජෝෂුවා සහ ඔහු සමඟ සියලු ඉශ්රායෙල්වරු ශෙරාගේ පුත් ආකාන් ද රිදී ද සළුව ද රන් පොල්ල ද ඔහුගේ දරුදැරියන් ද ඔහුගේ ගවයන් ද කොටළුවන් ද බැටළුවන් ද ඔහුගේ කූඩාරම ද ඔහු සන්තක සියල්ල ද රැගෙන ආකොර් මිටියාවතට ගෙන ගියෝ ය.</verse>
				<verse number="25">ජෝෂුවා කතා කොට, “ඔබ අප පිට මේ විපත්තිය පැමිණෙව්වේ මන් ද? සමිඳාණන් වහන්සේ අද ඔබ පිට විපත්තිය පමුණුවන සේකැ”යි කීවේ ය. එවිට සියලු ඉශ්රායෙල්වරු ඔහුට ගල් ගැසූ හ. ඔව්හු ඔවුන්ට ගල් ගසා ගින්නෙන් පුළුස්සාදැමුවෝ ය.</verse>
				<verse number="26">තවද, ඔව්හු මහ ගල් ගොඩක් ඔහු පිට ගොඩ ගැසූ හ. එය අද දක්වා තිබේ. ඒ ස්ථානයට ආකොර් මිටියාවත යයි අද දක්වා කියන්නේ ඒ නිසා ය. ඉන්පසු සමිඳාණන් වහන්සේගේ උදහස සංසිඳුණේ ය.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “බිය නොවන්න, නොකැළඹෙන්න. මුළු යුද්ධ සේනාව නුඹ සමඟ රැගෙන ආයි නගරයට යන්න. මම ආයි රජු හා ඔහුගේ සෙනඟත්, ඔහුගේ නගරයත්, ඔහුගේ රටත් නුඹ අතට පාවා දෙන්නෙමි.</verse>
				<verse number="2">නුඹ ජෙරිකෝවටත් එහි රජුටත් කළාක් මෙන් ආයි නගරයටත්, එහි රජුටත් කරන්න. එහි වස්තුව හා ගවයන් නුඹලාට කොල්ලයක් වශයෙන් ගන්න. නගරයට එහායින් රහසේ රැක සිටින සේනාවක් සූදානම් කර තබන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="3">මෙසේ ජෝෂුවා සහ මුළු යුද්ධ සේනාව ආයි නගරයට යන පිණිස සැරසුණෝ ය. ජෝෂුවා බලසම්පන්න හේවායන් තිස්දහසක් තෝරාගෙන රාත්‍රියේ ඔවුන් යැව්වේ ය.</verse>
				<verse number="4">ඔවුන්ට ඔහු මෙසේ අණ කෙළේ ය: “බලන්න, ඔබ හැම නගරයට එහායින් සැඟවී සිටින්න; නගරයෙන් වැඩි දුර නොගොස්, සියල්ලන් ම සූදානම් වී සිටිය යුතු ය.</verse>
				<verse number="5">මා සමඟ සිටින සියලු සෙනඟ ද මම ද නගරය දෙසට ගමන් කරන්නෙමු. එවිට ඔවුන් පළමු වතාවේ මෙන් අපට විරුද්ධ ව පහර දීමට ආ කල්හි අපි ඔවුන් ඉදිරියෙන් පලා යන්නෙමු.</verse>
				<verse number="6">‘පළමු වතාවේ මෙන් ඔව්හු අප ඉදිරියෙන් පලා යන්නෝ ය’යි කියමින්, අප ඔවුන් නගරයෙන් ඈත් කරගන්න තුරු ඔවුන් අප ලුහුබැඳ එනු ඇත. මෙසේ අපි ඔවුන් ඉදිරියෙන් පලා යන්නෙමු.</verse>
				<verse number="7">එවිට ඔබ හැම සැඟවී සිටින තැනින් පිටතට අවුත් නගරය අල්ලාගන්න. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ එය ඔබ අතට පාවා දෙන සේක.</verse>
				<verse number="8">ඔබ හැම නගරය අල්ලාගත් විට එයට ගිනි තබන්න. සමිඳාණන් වහන්සේ වදාළ ලෙස ම කරන්න. මා ඔබ හැමට දෙන අණ මෙසේ වේ.”</verse>
				<verse number="9">මෙසේ ජෝෂුවා ඔවුන් යැව්වේ ය; ඔව්හු ගොස් ආයි නගරයට බස්නාහිරෙන් බෙතෙල්ටත් ආයිටත් අතර සැඟවී සිටියෝ ය. ජෝෂුවා සෙනඟ සමඟ ඒ රාත්‍රිය ගත කෙළේ ය.</verse>
				<verse number="10">ජෝෂුවා අලුයම නැඟිට, සෙනඟ රැස්කර ඔවුන් ගණන් කොට, ඉශ්රායෙල් ප්‍රජා මූලිකයන් සමඟ සෙනඟට පෙරටුවෙන් ආයි නගරයට ගියේ ය.</verse>
				<verse number="11">මුළු සෙනඟ, එනම්, ඔහු සමඟ සිටි හේවායෝ නගරය ඉදිරිපිටට ගමන් කර ආයි නගරයට උතුරෙන් කඳවුරු බැඳගත්තෝ ය. ඔවුන්ටත්, ආයි නගරයටත් අතරේ මිටියාවතක් තිබුණේ ය.</verse>
				<verse number="12">ජෝෂුවා පන්දහසක් පමණ මිනිසුන් රැගෙන ඔවුන් ආයිට බස්නාහිරෙන් බෙතෙල්ටත්, ආයිටත් අතරේ රහසේ සඟවා තැබුවේ ය.</verse>
				<verse number="13">එසේ නගරයට උතුරෙන් සිටි මහ හමුදාව ද නගරයට බස්නාහිරෙන් රහසේ සඟවා සිටි අය ද යන සෙනඟ, මෙසේ නතර කළ පසු ජෝෂුවා ඒ රාත්‍රියේ මිටියාවතට ගියේ ය.</verse>
				<verse number="14">ආයි රජු එය දුටු කල ඔහු සහ නගර වැසියන් වන ඔහුගේ මුළු සෙනඟත් කඩිනමින් අලුයම නැඟිට, ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටන් කරන පිණිස බෑවුමට ඉදිරියේ පිහිටි අරබා සමභූමියට පිටත් ව ගියෝ ය. එහෙත්, නගරයට එහායින් තමාට විරුද්ධ ව සමූහයක් සැඟවී සිටින බව ඔහු නොදැන සිටියේ ය.</verse>
				<verse number="15">ජෝෂුවා ද සියලු ඉශ්රායෙල්වරු ද තමන් පැරදුණාක් මෙන් පෙන්වා පාළුකරයට යන මාර්ගයෙහි පලා ගියෝ ය.</verse>
				<verse number="16">ඔවුන් පස්සේ ලුහුබැඳ යන පිණිස ආයි නගරයේ සිටි මුළු සෙනඟ රැස් කරගන්නා ලදහ. ඔව්හු ජෝෂුවා පස්සේ එළවාගෙන ගොස් නගරයෙන් ඈත් වූවෝ ය.</verse>
				<verse number="17">ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ යන පිණිස පිටතට නොගිය එක මිනිසෙක් වත් ආයි නගරයේ වත්, බෙතෙල් නගරයේ වත් ඉතිරි ව නොසිටියේ ය. නගරය නොවසා සියල්ල අත්හැර ඔව්හු ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ ගියෝ ය.</verse>
				<verse number="18">සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “නුඹේ අතේ තිබෙන හෙල්ලය ආයි දෙසට එල්ල කරන්න. මන්ද, මම ඒ නගරය නුඹ අතට පාවා දෙන්නෙමි”යි වදාළ සේක. ජෝෂුවා තමාගේ අතේ තිබුණු හෙල්ලය නගරය දෙසට එල්ල කෙළේ ය.</verse>
				<verse number="19">එවිට සැඟවී සිටි හමුදාව තමන් සිටි තැනින් වහාම නැඟිට, ජෝෂුවා අත දිගු කළ කෙණෙහි ම දිව අවුත්, නගරයට වැද, එය අල්ලාගෙන ඉක්මනින් එයට ගිනිලෑවෝ ය.</verse>
				<verse number="20">ආයි නගරයේ මිනිසුන් ආපසු හැරී බැලූ කල, නගරයේ දුම අහසට නඟින බව ඔව්හු දුටුවෝ ය. එවිට ඒ අතට වත්, මේ අතට වත් පලා යාමට ඔවුන්ට පුළුවන්කමක් නොතිබුණේ ය. පාළුකරය දෙසට පලා ගිය සෙනඟ තමන් ලුහුබැඳ ආ අය දෙසට හැරුණෝ ය.</verse>
				<verse number="21">ජෝෂුවා සහ සියලු ඉශ්රායෙල්වරු, සැඟවී සිටි හමුදාව නගරය අල්ලාගත් බවත්, නගරයේ දුම නැඟෙන බවත් දැක, හැරී අවුත් ආයි නගරයේ මිනිසුන් මැරුවෝ ය.</verse>
				<verse number="22">සෙසු අය ද ඔවුන්ට විරුද්ධ ව නගරයෙන් නික්ම ආවෝ ය. මෙසේ ඒ පැත්තෙනුත්, මේ පැත්තෙනුත් ඉශ්රායෙල්වරුන්ට මැදි වූ ආයි සෙනඟගෙන් එක් කෙනෙකු වත් ගැළවී ඉතුරුවන්නට නොහැර ඉශ්රායෙල්වරු ඔවුන්ට පහර දුන්නෝ ය.</verse>
				<verse number="23">ඔව්හු ආයි රජු පණපිටින් අල්ලා ජෝෂුවා වෙත ගෙනාවෝ ය.</verse>
				<verse number="24">ඉශ්රායෙල්වරුන් තමන් ලුහුබැඳ ආ සියලු වැසියන් පාළුකරයේ දී වනසා නිම කළ පසු ද මෙසේ ආයි වැසියන් සියල්ලන් ම එකෙකු වත් ඉතුරු නොවන සේ කඩුවෙන් විනාශ කරනු ලැබූ පසු ද සියලු ඉශ්රායෙල්වරු ආයි නගරයට හැරී ගොස් එහි සිටි අය ද කඩුවෙන් මරා දැමුවෝ ය.</verse>
				<verse number="25">ඒ දවසේ දී මරුමුවට පත් වූ ආයි නගර වැසි සියලු ස්ත්‍රී පුරුෂයන්ගේ ගණන දොළොස්දහසක් විය.</verse>
				<verse number="26">මන්ද, ජෝෂුවා හෙල්ලය එල්ල කර ආයි නගරයෙහි සියලු වැසියන් මුළුමනින් ම විනාශ කරදමන තුරු, තමාගේ අත පහතට නොදැම්මේ ය.</verse>
				<verse number="27">එහෙත්, ගවයන් ද ඒ නගරයේ වස්තුව ද සමිඳාණන් වහන්සේ ජෝෂුවාට අණ කළ පරිදි, ඉශ්රායෙල්වරු තමන්ට කොල්ලයක් කොට ගත්තෝ ය.</verse>
				<verse number="28">මෙසේ ජෝෂුවා ආයි නගරයට ගිනි ලා, එය සදහට ම පවතින නටබුන් ගොඩක් කෙළේ ය. එය අද දක්වා පවතී.</verse>
				<verse number="29">ඔව්හු ආයි රජු සවස දක්වා ගසක එල්ලා තැබුවෝ ය; ඉර බසින වේලාවේ ජෝෂුවාගේ අණ පිට ඔහුගේ මළකඳ ගසින් බා, නගරයට පිවිසෙන දොරකඩ ළඟ හෙළා, ඒ පිට මහ ගල් ගොඩක් ගැසුවෝ ය. එය අද දවස දක්වා තිබේ.</verse>
				<verse number="30">එවිට ජෝෂුවා ඒබාල් කන්දෙහි ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනැඟුවේ ය.</verse>
				<verse number="31">ඔහු මෙසේ කෙළේ, සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස් ඉශ්රායෙල් සෙනඟට අණ කළ ලෙස, මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ ලියා තිබෙන පරිදි, ‘කිසිවෙකු විසින් යකඩ ආයුධයකින් නොකපන ලද පියවි ගල්වලින් ය.’ ඔව්හු ඒ පූජාසනය පිට සමිඳාණන් වහන්සේට දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කළෝ ය.</verse>
				<verse number="32">ජෝෂුවා එහි දී ඒ ගල් පිට මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ පිටපතක් ලිව්වේ ය. ඔහු එය ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි ඉටු කෙළේ ය.</verse>
				<verse number="33">සියලු ඉශ්රායෙල්වරු ද ඔවුන්ගේ ප්‍රජා මූලිකයෝ ද නිලධාරීහු ද විනිශ්චයකාරයෝ ද ස්වදේශිකයෝ ද එසේ ම විදේශිකයෝ ද සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉසුලූ ලෙවී පූජකවරුන් ඉදිරියෙහි ගිවිසුම් කරඬුව දෙපසෙහි සිටියෝ ය. ඔවුන්ගෙන් දෙකෙන් කොටසක් ගෙරසීම් කන්ද ඉදිරිපිට ද සෙසු දෙකෙන් කොටස ඒබාල් කන්ද ඉදිරියෙහි ද සිටියෝ ය. මෙසේ කෙළේ, පළමු කොට ඉශ්රායෙල් සෙනඟට ආශීර්වාද කළ යුතු ය කියා සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස් අණ කළ පරිදි ය.</verse>
				<verse number="34">ඉන්පසු ව්‍යවස්ථා පොතේ ලියා තිබෙන පරිදි ආශීර්වාදයත්, සාපයත් යන ව්‍යවස්ථාවේ සියලු වචන ඔහු කියෙව්වේ ය.</verse>
				<verse number="35">ජෝෂුවා, ස්ත්‍රීන් ද බාලයන් ද ඔවුන් අතරේ හැසුරුණ විදේශීන් ද ඇතුළු වූ ඉශ්රායෙල් සභාව ඉදිරියෙහි මෝසෙස් අණ කළ සියල්ලෙන් නොකියවූ එක ද වචනයක් වත් නො වී ය.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">ජොර්දානෙන් මෙගොඩ කඳු රටෙහි ද පහත රටෙහි ද මධ්‍යධරණි මුහුද අසබඩ මුළුල්ලෙහි ලෙබනොන් දක්වා ද විසූ හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද කානානිවරුන්ගේ ද පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ ද ජෙබුසිවරුන්ගේ ද සියලු රජවරුන් ඒ ගැන ඇසූ කල,</verse>
				<verse number="2">ඔව්හු එක් සිත් ව ජෝෂුවා හා ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස එක්රැස් වූවෝ ය.</verse>
				<verse number="3">එහෙත්, ගිබියොන් වැසියන් ජෝෂුවා ජෙරිකෝවටත්, ආයි නගරයටත් කළ දේ ඇසූ විට,</verse>
				<verse number="4">ඔව්හු ජෝෂුවා රැවටීමට උපායක් යොදාගත්තෝ ය. ඔව්හු සූදානම් කරගත් ආහාර ද පරණ ගෝණි ද පැළී පිළියම් කළ පරණ හම් මුද්‍රික පාන භාජන ද තමන්ගේ කොටළුවන් පිට පටවා ගත්තෝ ය.</verse>
				<verse number="5">අණ්ඩ දැමූ, ගෙවී ගිය පාවහන් පය ලාගෙන, පරණ වස්ත්‍ර ඇඳගත්තෝ ය; ඔවුන් කෑමට ගත් රොටි සියල්ල ද වේළී, පුස් බැඳී තිබුණේ ය.</verse>
				<verse number="6">මෙසේ ඔව්හු ගිල්ගාල්හි කඳවුරේ සිටි ජෝෂුවා වෙත ගොස්, ඔහුටත්, ඉශ්රායෙල් සෙනඟටත් කතා කොට, “අපි දුර රටකින් ආවෙමු; එබැවින් අප සමඟ ගිවිසුමක් කළ මැනවැ”යි කීවෝ ය.</verse>
				<verse number="7">එහෙත්, ඉශ්රායෙල් සෙනඟ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ අප අසල වාසය කරනු වන්නට පුළුවන. එසේ නම් අප ඔබ සමඟ ගිවිසුමක් කරගන්නේ කෙසේ දැ”යි හිවීවරුන්ගෙන් ඇසූ හ.</verse>
				<verse number="8">ඔව්හු ජෝෂුවාට කතා කරමින්, “අපි ඔබ වහන්සේගේ දාසයෝ වමු”යි ඔහුට කී හ. ජෝෂුවා ද, “ඔබ කවරහු ද? කොතැනින් ආවහු දැ”යි ඔවුන්ගෙන් ඇසුවේ ය.</verse>
				<verse number="9">ඔව්හු පිළිතුරු දෙමින් මෙසේ කී හ: “ඔබේ දාසයන් වන අපි ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ගැන අසා බොහෝ දුර රටකින් ආවෙමු. උන් වහන්සේගේ කීර්තිය ද උන් වහන්සේ මිසරයේ කළ සියල්ල ද</verse>
				<verse number="10">ජොර්දාන් ගඟින් එගොඩ විසූ අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනා වන හෙෂ්බොන්හි රජ වූ සීහොන්ටත්, අෂ්ටාරොත්හි විසූ බාෂාන්හි රජ වූ ඕග්ටත් කළ සියල්ල ද අපි ඇසීමු.</verse>
				<verse number="11">එබැවින් අපේ ප්‍රජා මූලිකයෝ ද අපේ රට වැසි සියල්ලෝ ද අපට කතා කොට, ‘ඔබේ ගමනට ආහාර රැගෙන, ඔවුන් හමු වන්නට ගොස් ඔවුන්ට කතා කොට, අපි ඔබ හැමගේ දාසයෝ වමු. අප සමඟ ගිවිසුමක් කළ මැනව යි ඔවුන්ට කියන්නැ’යි අපට කී හ.</verse>
				<verse number="12">ඔබ හැම වෙත එන්නට අප පිටත් වූ දවසේ දී අපේ ආහාර පිණිස ගත් මේ රොටි අපේ ගෙවලින් අප ගත්තේ උණු උණු ව තිබෙද්දී ය; එහෙත්, දැන් ඒවා වියළී, පුස් බැඳී තිබේ.</verse>
				<verse number="13">මේ මුද්‍රික පාන හම් භාජන අප පුරවාගත් විට ඒවා අලුත් ව තිබිණි; දැන් ඒවා පැළී තිබේ. මේ අපේ වස්ත්‍ර ද පාවහන් ද ගමන ඉතා දීර්ඝ නිසා පරණ වී තිබේ.”</verse>
				<verse number="14">ඉශ්රායෙල් සෙනඟගේ ප්‍රධානීහු සමිඳාණන් වහන්සේගේ අවවාද නොවිචාරා ඔවුන්ගේ ආහාර කෑවෝ ය.</verse>
				<verse number="15">ජෝෂුවා ඔවුන් සමඟ සාමය ඇති කරගෙන, ඔවුන්ට ජීවත් වන්නට ඉඩ දෙන හැටියට ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේ ය. ඉශ්රායෙල් ජනයන්ගේ ප්‍රජා මූලිකයෝ ද ඔවුන්ට දිවුරුම් දුන්නෝ ය.</verse>
				<verse number="16">ඉශ්රායෙල්වරුන් ඔවුන් සමඟ ගිවිසුමක් කර තුන් දවසකට පසු ඔවුන් තමන්ගේ අසල්වාසීන් බවත්, තමන් අතරෙහි වාසය කරන බවත් ඔවුන්ට ආරංචි වුණේ ය.</verse>
				<verse number="17">ඉශ්රායෙල් සෙනඟ ගමන් කොට තුන් දවසකට පසු ඔවුන්ගේ නගරවලට පැමිණියෝ ය. ඒ නගර නම්: ගිබියොන්, කෙපීරා, බෙයේරොත්, කිරියත්-ජෙයාරීම් යන මේවා ය.</verse>
				<verse number="18">ප්‍රජා මූලිකයෝ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නමින් ඔවුන්ට දිවුරුම් දී තිබුණ නිසා ඔවුන්ට පහර නොදුන්නෝ ය. සියලු සෙනඟ ප්‍රජා මූලිකයන්ට විරුද්ධ ව දොස් පැවරුවෝ ය.</verse>
				<verse number="19">එහෙත්, සියලු ප්‍රජා මූලිකයෝ කතා කොට, “අපි ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔවුන්ට දිවුරුම් දුනිමු; එබැවින් ඔවුන්ට අත ගසන්නට අපට නොහැකි ය.</verse>
				<verse number="20">අප ඔවුන්ට මෙසේ කළ යුතු ය: ඔවුන්ට ජීවත් වීමට අපි ඉඩ හරිමු. එසේ නොකළොත්, අප ඔවුන්ට දුන් දිවුරුම නිසා උදහස අප පිටට පැමිණෙනු ඇත.</verse>
				<verse number="21">ඔවුන් ජීවත් වුණා වේ. ඔවුන්ගේ අධිපතීන් කී පරිදි ඔව්හු අපට දර කපන්නෝ ද දිය අදින්නෝ ද වන්නෝ ය”යි කීවෝ ය.</verse>
				<verse number="22">ජෝෂුවා ගිබියොන්වරුන් කැඳවා, “ඔබ අප අතරේ වාසය කරද්දී, ‘අපි ඔබට බොහෝ දුරින් සිටිමු’ කියා ඔබ අප රැවටුවේ මන් ද?</verse>
				<verse number="23">මෙසේ කළ නිසා ඔබ සාප ලද්දහු ය. ඔබ අතරෙන් සමහරෙකු මාගේ දෙවියන් වහන්සේගේ ගෘහයට දර කපන්නන් ද දිය අදින්නන් ද වශයෙන් සෑම කල්හි ම ඔබ සපයනු ඇතැ”යි කීවේ ය.</verse>
				<verse number="24">ඔව්හු ජෝෂුවාට පිළිතුරු දෙමින්, “මුළු දේශය ඔබ හැමට දෙන්නටත්, ඔබ හැම ඉදිරියෙන් දේශයේ සියලු වැසියන් විනාශ කරදමන්නටත්, ඔබ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ මෙහෙකරු මෝසෙස්ට අණ කළ බව අපට දැනගන්නට ලැබුණ බැවින්, ඔබ විසින් මරනු ලබනු ඇත යන බියෙන් අපි මෙසේ කෙළෙමු.</verse>
				<verse number="25">අහෝ! අපි දැන් ඔබ අතේ ය: ඔබට හරි යයි ද සාධාරණ යයි ද දැනෙන හැටියට අපට කළ මැනවැ”යි කී හ.</verse>
				<verse number="26">ජෝෂුවා ඔවුන්ට එලෙස කර, ඉශ්රායෙල් සෙනඟ විසින් ඔවුන් මරා නොදමන ලෙස ඔවුන්ගේ අතින් ඔවුන් ගළවාගත්තේ ය.</verse>
				<verse number="27">ජෝෂුවා ඒ දවසේ, ඔවුන් තම සෙනඟටත්, සමිඳාණන් වහන්සේගේ පූජාසනයටත් දර කපන්නන් ද දිය අදින්නන් ද කෙළේ ය. සමිඳාණන් වහන්සේ සිය පූජාසනය සඳහා තෝරාගන්න ස්ථානයේ දී ඔව්හු අද දක්වා ම එසේ කරති.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">ජෝෂුවා ජෙරිකෝවටත්, එහි රජුටත් කළාක් මෙන් ආයිටත් එහි රජුටත් කර, ආයි නගරය අල්ලාගෙන එය සහමුලින් ම විනාශ කළ බවත්, ගිබියොන් වැසියන් ඉශ්රායෙල්වරුන් සමඟ සාමදාන වී ඔවුන් අතරේ සිටින බවත්, ජෙරුසලමේ රජ වූ අදෝනි-ශෙදෙක්ට ආරංචි විය.</verse>
				<verse number="2">ගිබියොන් රාජකීය නගරයක් මෙන් විශාල නගරයක් ව තිබුණ නිසා ද එය ආයි නගරයටත් වඩා විශාල නිසා ද එහි වැසියන් සියලු දෙනා බලසම්පන්න නිසා ද ජෙරුසලම් වැසියෝ බියපත් වූවෝ ය.</verse>
				<verse number="3">එබැවින් ජෙරුසලමේ රජ වූ අදෝනි-ශෙදෙක්, හෙබ්‍රොන්හි රජ වූ හෝහාම්ට ද ජර්මුත්හි රජ වූ පීරාම්ට ද ලාකීෂ්හි රජ වූ ජපියාට ද එග්ලොන්හි රජ වූ දෙබීර්ට ද පණිවුඩ යවමින්,</verse>
				<verse number="4">“ගිබියොන්වරුන් ජෝෂුවා ද ඉශ්රායෙල් සෙනඟ ද සමඟ සාමදාන වී ඇති නිසා ගිබියොන්ට පහර දෙන පිණිස මට හවුල් වී උපකාර කරන්නැ”යි කී ය.</verse>
				<verse number="5">එබැවින් අමෝරිවරුන්ගේ රජවරුන් පස්දෙන, එනම්, ජෙරුසලමේ රජ ද හෙබ්‍රොන් රජ ද ජර්මුත්හි රජ ද ලාකීෂ්හි රජ ද එග්ලොන්හි රජ ද එකතු වී, ඔව්හු ද ඔවුන්ගේ සියලු සේනාවෝ ද ගොස්, ගිබියොන් ඉදිරියෙහි කඳවුරු බැඳ, ඊට විරුද්ධ ව යුද්ධ කළෝ ය.</verse>
				<verse number="6">එවිට ගිබියොන්හි සෙනඟ කතා කොට, “ඔබේ දාසයන් අත් නොහළ මැනව; අප වෙත ඉක්මනින් අවුත්, අප ගළවා අපට උපකාර කළ මැනව. මන්ද, කඳුකරයේ වසන අමෝරිවරුන්ගේ සියලු රජවරු අපට විරුද්ධ ව එකතු වී සිටිති”යි ගිල්ගාල්හි කඳවුරේ සිටි ජෝෂුවාට දන්වා යැවූ හ:</verse>
				<verse number="7">එවිට ජෝෂුවා මුළු යුද්ධ හමුදාව ද බලසම්පන්න වීරයන් ද සමඟ ගිල්ගාල් කෙරෙන් නැඟී ගියේ ය.</verse>
				<verse number="8">සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “ඔවුන්ට බිය නොවන්න; මන්ද, මා ඔවුන් නුඹ අතට පාවා දී ඇත; ඔවුන්ගෙන් කිසිවෙකුට වත් නුඹට විරුද්ධ ව නැඟිට නොසිටිය හැකි ය”යි වදාළ සේක.</verse>
				<verse number="9">ජෝෂුවා ගිල්ගාල් සිට රාත්‍රිය මුළුල්ලේ ගමන් කොට හදිස්සියෙන් ඔවුන් කරා පැමිණියේ ය.</verse>
				<verse number="10">සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි ඔවුන් තැතිගැන්වූ සේක. ඉශ්රායෙල්වරු ගිබියොන් ළඟ දී ඔවුන් වනසා, බෙත්-හෝරොන්ට යන මාර්ගයෙහි ඔවුන් ලුහුබැඳ ගොස් අශේකා සහ මක්කේදා දක්වා ඔවුන්ට පහර දුන්නෝ ය.</verse>
				<verse number="11">තවද, ඔවුන් ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් පලා යද්දී, අශේකා දක්වා බෙත්-හෝරොන් පල්ලමේ දී සමිඳාණන් වහන්සේ අහසෙන් විශාල ගල් ඔවුන් පිට හෙළූ සේක; එයින් ඔව්හු මැරුණෝ ය. ගල් වර්ෂාවෙන් නැසුණු අය, ඉශ්රායෙල්වරුන් කඩුවෙන් මැරූ අයට වඩා බොහෝ වූ හ.</verse>
				<verse number="12">සමිඳාණන් වහන්සේ අමෝරිවරුන් ඉශ්රායෙල් සෙනඟට පාවා දුන් ඒ දවසේ දී ජෝෂුවා සමිඳාණන් වහන්සේට කතා කොට, මුළු ඉශ්රායෙල්වරුන්ගේ ඇස් හමුයෙහි මෙසේ කීවේ ය: “එම්බා සූර්යය! ගිබියොන්ට ඉහළින් නොසෙල් වී සිටින්න; එම්බා චන්ද්‍රය! අයාලෝන් මිටියාවත ඉහළින් එසේ ම සිටින්න.”</verse>
				<verse number="13">එවිට සෙනඟ තමන්ගේ සතුරන්ගෙන් පළිගන්න තුරු සූර්යයා නැවතී සිටියේ ය; චන්ද්‍රයා ද නැවතුණේ ය. මෙපවත් ජාෂාර්ගේ පොතේ ලියා තිබෙනු නොවේ ද? සූර්යයා සම්පූර්ණ දවසක් පමණ බැස යාමට ඉක්මන් නොවී අහස මැද සිටියේ ය.</verse>
				<verse number="14">සමිඳාණන් වහන්සේ මිනිසෙකුගේ හඬට සවන් දුන් එබඳු දවසක් මීට පෙර වත්, ඊට පසු වත් නො වී ය; මන්ද, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් සෙනඟ උදෙසා සටන් කළ සේක.</verse>
				<verse number="15">ඉන්පසු ජෝෂුවා ද සියලු ඉශ්රායෙල් සෙනඟ ද ගිල්ගාල්හි කඳවුරට පෙරළා ගියෝ ය.</verse>
				<verse number="16">රජවරු පස්දෙනා පලා ගොස් මක්කේදාහි ගුහාවේ සැඟවුණා හ.</verse>
				<verse number="17">“රජවරු පස්දෙනා මක්කේදාහි ගුහාවේ සැඟවී සිටිනු සම්බ වූ හ”යි ජෝෂුවාට දන්වන ලද්දේ ය.</verse>
				<verse number="18">එවිට ජෝෂුවා කතා කරමින්, “ඔබ ගුහාවේ කටට ලොකු ගල් පෙරළා තබා ඔවුන් මුර කරන්නට මිනිසුන් තබන්න.</verse>
				<verse number="19">එහෙත්, ඔබ නැවතී නොසිටින්න; ඔබේ සතුරන් ලුහුබැඳ ගොස් පිටුපසින් සිටින්නන්ට පහර දෙන්න; ඔවුන්ගේ නගරවලට ඇතුළු වීමට ඔවුන්ට ඉඩ නොදෙන්න. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් ඔබ අතට පාවා දී තිබේ ය”යි කීවේ ය.</verse>
				<verse number="20">ජෝෂුවා සහ ඉශ්රායෙල් සෙනඟ ඔවුන් සමූලඝාතනය කර නිම කළෝ ය. ඔවුන්ගෙන් ඉතිරි අය පවුරු ඇති නගරවලට ඇතුළු වූ හ.</verse>
				<verse number="21">ඉන්පසු ජෝෂුවාගේ සෙනඟ මක්කේදාහි කඳවුරට ජෝෂුවා වෙත සුව සේ හැරී ආවෝ ය. ඉශ්රායෙල් සෙනඟගෙන් කිසිවෙකුට විරුද්ධ ව කවරෙක් වත් කිසිවක් නොකීවෝ ය.</verse>
				<verse number="22">එවිට ජෝෂුවා කතා කොට, “ගුහාවේ කට ඇර ඒ රජුන් පස්දෙනා ගුහාවෙන් මා ළඟට ගෙනෙන්නැ”යි කී ය.</verse>
				<verse number="23">ඔව්හු එසේ කොට, ඒ රජවරුන් පස්දෙනා එනම්, ජෙරුසලමේ රජ ද හෙබ්‍රොන්හි රජ ද ජර්මුත්හි රජ ද ලාකීෂ්හි රජ ද එග්ලොන්හි රජ ද ගුහාවෙන් ඔහු වෙත ගෙනාවෝ ය.</verse>
				<verse number="24">ඔවුන් ඒ රජුන් ජෝෂුවා වෙත ගෙනා කල, ජෝෂුවා සියලු ඉශ්රායෙල් මිනිසුන් කැඳවා, තමා සමඟ ගිය යුද්ධ භටයන්ගේ අධිපතීන්ට කතා කොට, “ළං වී ඔබේ පාද මේ රජුන්ගේ ගෙල මත තබන්නැ”යි කීවේ ය. ඔව්හු ළං ව තමන්ගේ පාද ඔවුන්ගේ ගෙල මත තැබුවෝ ය.</verse>
				<verse number="25">ජෝෂුවා ඔවුන්ට කතා කොට, “බිය නොවී නොකැළඹී සිටින්න; ශක්තිමත් ව ධෛර්යවත් ව සිටින්න; මන්ද, ඔබට විරුද්ධ ව යුද්ධ කරන ඔබේ සියලු සතුරන්ට සමිඳාණන් වහන්සේ මෙසේ කරන සේකැ”යි කීවේ ය.</verse>
				<verse number="26">ඉන්පසු ජෝෂුවා ඔවුන්ට පහර දී ඔවුන් මරා ගස් පහක එල්ලුවේ ය. ඔව්හු ඔවුන් සවස දක්වා ගස්වල එල්ලා තැබුවෝ ය.</verse>
				<verse number="27">ඉර බසින විට ජෝෂුවාගේ අණ පිට ඔව්හු ඔවුන් ගස්වලින් බා ඔවුන් සැඟවී සිටි ගුහාවේ දමා, මහ ගල් ඒ ගුහා කටෙහි තැබුවෝ ය. ඒ ගල් අද දක්වා ම පවතී.</verse>
				<verse number="28">ඒ දවසේ ජෝෂුවා මක්කේදා නගරය අල්ලාගෙන, එයටත්, එහි රජුටත් කඩුවෙන් පහර දී, එක ද කෙනෙකු වත් ඉතිරි නොකර, එහි සිටි සියලු දෙනා ද මුළුමනින් ම විනාශ කරදමා, ජෙරිකෝවේ රජුට කළාක් මෙන් මක්කේදාහි රජුටත් කෙළේ ය.</verse>
				<verse number="29">ඉක්බිති ජෝෂුවා මක්කේදා සිට සියලු ඉශ්රායෙල්වරුන් සමඟ ලිබ්නා නගරයට ගොස් ඒ නගරයට විරුද්ධ ව යුද්ධ කෙළේ ය.</verse>
				<verse number="30">සමිඳාණන් වහන්සේ ඒ නගරයත්, එහි රජුත් ඉශ්රායෙල්වරුන්ගේ අතට පාවා දුන් සේක. ජෝෂුවා එහි සිටි එක් කෙනෙකු වත් ඉතිරි නොකොට ඒ නගරයටත්, ඒ නගරයේ විසූ සියලු දෙනාටත් කඩුවෙන් පහර දී ජෙරිකෝවේ රජුට කළාක් මෙන් ලිබ්නාහි රජුටත් කෙළේ ය.</verse>
				<verse number="31">ජෝෂුවා සියලු ඉශ්රායෙල්වරුන් සමඟ ලිබ්නාහි සිට ලාකීෂ් නගරයට ගොස්, එය ඉදිරිපිට කඳවුරු බැඳ ඊට විරුද්ධ ව යුද්ධ කෙළේ ය.</verse>
				<verse number="32">සමිඳාණන් වහන්සේ ලාකීෂ් නගරය ද ඉශ්රායෙල්වරුන්ගේ අතට පාවා දුන් සේක. ජෝෂුවා දෙ වන දවසේ දී එය අල්ලාගෙන ලිබ්නාට කළාක් මෙන් එහි සිටි සියලු දෙනාටත් කඩුවෙන් පහර දුන්නේ ය.</verse>
				<verse number="33">එවිට ගෙශෙර්හි රජ වූ හොරාම් ලාකීෂ් නගරයට උපකාර කරන පිණිස පැමිණියේ ය. ජෝෂුවා, එක් කෙනෙකු වත් ඉතිරි නොවන තුරු ඔහුටත්, ඔහුගේ සෙනඟටත් පහර දුන්නේ ය.</verse>
				<verse number="34">ජෝෂුවා ඉශ්රායෙල්වරුන් සමඟ ලාකීෂ්හි සිට එග්ලොන් නගරයට ගොස් එය වටලා කඳවුරු බැඳ එයට විරුද්ධ ව යුද්ධ කෙළේ ය.</verse>
				<verse number="35">ඔව්හු ඒ දවසේ දී ම එය අල්ලාගෙන, එයට කඩුවෙන් පහර දී ලාකීෂ් නගරයට කළාක් මෙන් එහි සිටි සියලු දෙනා ඒ දවසේ දී මුළුමනින් විනාශ කරදැමුවෝ ය.</verse>
				<verse number="36">ජෝෂුවා සියලු ඉශ්රායෙල්වරුන් සමඟ එග්ලොන් සිට හෙබ්‍රොන් නගරයට ගොස් ඊට විරුද්ධ ව යුද්ධ කොට,</verse>
				<verse number="37">එය අල්ලාගෙන එයටත්, එහි රජුටත්, ඊට අයිති සියලු නගරවලටත්, එහි විසූ සියලු දෙනාටත් කඩුවෙන් පහර දී, එග්ලොන් නගරයට කළාක් මෙන් එක් කෙනෙකු වත් ඉතිරි නොකර, එය ද එහි සිටි සියලු දෙනා ද මුළුමනින් ම විනාශ කරදැමුවේ ය.</verse>
				<verse number="38">ජෝෂුවා සියලු ඉශ්රායෙල්වරුන් සමඟ දෙබීර් නගරයට හැරී අවුත්, එයට විරුද්ධ ව යුද්ධ කොට,</verse>
				<verse number="39">එය සහ එහි රජු ද එයට අයිති සියලු නගර ද අල්ලාගෙන, කඩුවෙන් පහර දී, එක් කෙනෙකු වත් ඉතිරි නොකර එහි සිටි සියලු දෙනාත් මුළුමනින් විනාශ කරදැමුවේ ය. ඔහු හෙබ්‍රොන්ට කළාක් මෙන් ද ලිබ්නාටත් එහි රජුටත් කළාක් මෙන් ද දෙබීර්ටත් එහි රජුටත් කෙළේ ය.</verse>
				<verse number="40">මෙසේ ජෝෂුවා මුළු දේශයට, එනම් කඳු රටට හා දකුණු දේශයට ද පහත රටට හා කඳු බෑවුම්වලට ද එහි සියලු රජුන්ට ද පහර දී, එක් කෙනෙකු වත් ඉතිරි නොකොට ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අණ කළ ලෙස පණ ඇති සියල්ලන් ම මුළුමනින් ම සිඳදැමුවේ ය.</verse>
				<verse number="41">කාදෙෂ්-බර්නේය පටන් ගාසා දක්වා ද මුළු ගෝෂෙන් ඇතුළු ව ගිබියොන් දක්වා ද ජෝෂුවා සියල්ලන්ට පහර දුන්නේ ය.</verse>
				<verse number="42">ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් උදෙසා සටන් කළ බැවින්, ජෝෂුවා ඒ සියලු රජවරුන් ද ඔවුන්ගේ දේශයන් ද එක විට ම අල්ලාගත්තේ ය.</verse>
				<verse number="43">ඉක්බිති ජෝෂුවා ද ඔහු සමඟ සියලු ඉශ්රායෙල්වරු ද ගිල්ගාල්හි කඳවුරට පෙරළා ආවෝ ය.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">හාශොර්හි රජ වූ ජාබින් මේ සියලු දේ ඇසූ විට, මාදොන්හි රජ වූ ජෝබාබ්ට ද ෂිම්රොන්හි රජුට ද ආක්ෂාප්හි රජුට ද</verse>
				<verse number="2">උතුරු දිශාවේ කඳු රටේ සහ කින්නෙරොත්ට දකුණෙන් තිබෙන අරබා සමභූමියෙහි පහත රටේත්, බස්නාහිරෙන් තිබෙන දෝර් කඳුකරයෙහිත් සිටි රජවරුන්ට ද පණිවුඩයක් යැව්වේ ය.</verse>
				<verse number="3">තවද, නැගෙනහිරෙන් සහ බස්නාහිරෙනුත් විසූ කානානිවරුන්ට ද අමෝරිවරුන්ට ද හිත්තීවරුන්ට ද පෙරිස්සිවරුන්ට ද කඳු රටේ විසූ ජෙබුසිවරුන්ට ද මිශ්පා දේශයෙහි හෙර්මොන්ට පහළින් විසූ හිවීවරුන්ට ද පණිවුඩ යැව්වේ ය.</verse>
				<verse number="4">එවිට ඔව්හු මුහුදු වෙරළේ වැලි මෙන් ඉතා විශාල ජන සංබ්‍යාවක් වන තමන්ගේ සියලු සේනාවන් සමඟ පැමිණියෝ ය. ඔව්හු අශ්වයන් සහ රථ වාහන ඉතා මහත් ගණනාවක් ඇති ව පිටත් ව ආවෝ ය.</verse>
				<verse number="5">මෙකී සියලු රජවරුන් තම බලඇණි එක්රැස් කොට, ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස මෙරොම්හි ජලය ඇති ස්ථානය ළඟ එක් ව කඳවුරු බැඳගත්තෝ ය.</verse>
				<verse number="6">සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “ඔවුන් ගැන බිය නොවන්න: මන්ද, ඔවුන් මැරුම් කන පිණිස හෙට මේ වේලාවට ඔවුන් ඉශ්රායෙල්වරුන්ගේ අතට පාවා දෙන්නෙමි; ඔවුන්ට අයත් අශ්වයන්ගේ කුදි කපා ඔවුන්ගේ රථ ගින්නෙන් පුළුස්සාදමන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="7">එවිට ජෝෂුවා මුළු යුද්ධ සේනාව සමඟ මෙරොම්හි ජලය ඇති ස්ථානය ළඟ සිටි ඔවුන්ට විරුද්ධ ව හදිස්සියේ අවුත් ඔවුන් මැදට කඩා පැන්නේ ය.</verse>
				<verse number="8">සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ගේ අතට ඔවුන් පාවා දුන් සේක. ඉශ්රායෙල්වරු ඔවුන් මහ සීදොන් දක්වා ද මිස්රෙපොත්-මායිම් දක්වා ද නැගෙනහිර තිබෙන මිශ්පාහි මිටියාවත දක්වා ද එළවාගෙන ගොස් ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඉතිරි නොවන තුරු ඔවුන්ට පහර දුන්නෝ ය.</verse>
				<verse number="9">ජෝෂුවා, සමිඳාණන් වහන්සේ තමාට වදාළ ලෙස ඔවුන්ට කර, ඔවුන්ගේ අශ්වයන්ගේ කුදි කපා ඔවුන්ගේ රථ ගින්නෙන් පුළුස්සාදැමුවේ ය.</verse>
				<verse number="10">ඒ අවස්ථාවේ දී ජෝෂුවා පෙරළා අවුත් හාශොර් නගරය අල්ලාගෙන එහි රජුට කඩුවෙන් පහර දුන්නේ ය. හාශොර් වනාහි ඉහත දී ඒ සියලු රාජ්‍යවල ප්‍රධාන නගරය ව තිබුණේ ය.</verse>
				<verse number="11">ඉශ්රායෙල්වරු එහි විසූ සියලු දෙනාට කඩුවෙන් පහර දී ඔවුන් මුළුමනින් ම විනාශ කරදැමුවෝ ය. පණ ඇති කිසිවෙක් එහි ඉතිරි නොවූ හ. ජෝෂුවා හාශොර් නගරය ගින්නෙන් පුළුස්සාදැමුවේ ය.</verse>
				<verse number="12">ජෝෂුවා මේ සියලු රජවරුන්ගේ නගර ද එහි සියලු රජවරුන් ද අල්ලාගෙන, සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් අණ කළ ලෙස කඩුවෙන් ඔවුන්ට පහර දී, ඔවුන් මරා දැමුවේ ය.</verse>
				<verse number="13">හෙල් පිට පිහිටා තිබුණු සියලු නගරවලින්, හාශොර් හැර, අන් එකක් වත් ඉශ්රායෙල්වරු පුළුස්සා නොදැමුවෝ ය. ජෝෂුවා හාශොර් පමණක් පුළුස්සාදැමුවේ ය.</verse>
				<verse number="14">ඒ නගරවල වටිනා වස්තුව ද ගවයන් ද ඉශ්රායෙල් ජනයා කොල්ලකාගෙන තබාගත්තෝ ය. සියලු මිනිසුන් විනාශ වන තුරු ඔව්හු ඔවුන්ට කඩුවෙන් පහර දුන්නෝ ය; කිසිවෙකු පණපිටින් ඉතුරු නොකළෝ ය.</verse>
				<verse number="15">සමිඳාණන් වහන්සේ තමන්ගේ සේවක මෝසෙස්ට අණ කළ ලෙස, මෝසෙස් ජෝෂුවාට අණ කෙළේ ය. ජෝෂුවා ඒ අනුව ක්‍රියා කෙළේ ය. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ලෙන් කිසිවක් වත් ජෝෂුවා ඉටු නොකර නොහැරියේ ය.</verse>
				<verse number="16">ජෝෂුවා ඒ මුළු දේශය අත්කරගත්තේ ය. එනම්, කඳු රට ද මුළු දකුණු දිශාව ද මුළු ගෝෂෙන් රට ද අරබා සමභූමිය ද ඉශ්රායෙල් කඳු රට ද ඒ අසල පහත රට ද</verse>
				<verse number="17">සේයිර්ට යන මාර්ගයෙහි හලක් කන්ද පටන් හෙර්මොන් කන්දට පහළ ලෙබනොන් මිටියාවතේ තිබෙන බාල්-ගාද් දක්වා මුළු දේශය ද අත්කරගෙන, එහි රජවරුන් ද අල්ලාගෙන ඔවුන්ට පහර දී මැරුවේ ය.</verse>
				<verse number="18">එහි සියලු රජවරුන් සමඟ ජෝෂුවා බොහෝ කල් යුද්ධ කෙළේ ය.</verse>
				<verse number="19">හිවීවරුන් විසූ ගිබියොන් නගරය හැර අන් කිසි නගරයක් ඉශ්රායෙල්වරුන් සමඟ සාමදාන නො වී ය. සෙසු නගර සියල්ල ම ඔව්හු යුද්ධයෙන් අල්ලාගත්තෝ ය.</verse>
				<verse number="20">ඉශ්රායෙල්වරුන් සමඟ සටනට එළඹීමට ඔවුන්ගේ සිත් දැඩි කිරීම සමිඳාණන් වහන්සේ ම අදහස් කළ දෙයකි. මෙසේ කෙළේ, ඔවුන් කිසි දයාවක් නොලබා සහමුලින් ම විනාශකර දමනු ලබන පිණිස ය. මේ වනාහි සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ දේ ය.</verse>
				<verse number="21">ඒ කාලයෙහි ජෝෂුවා අවුත් කඳු රටින් ද හෙබ්‍රොන් කෙරෙන් ද දෙබීර් කෙරෙන් ද අනාබ් කෙරෙන් ද මුළු ජුදා කඳු රටෙන් ද මුළු ඉශ්රායෙල් කඳු රටෙන් ද ආනාක් නම් යෝධයන් නැතිකර දැමුවේ ය. ජෝෂුවා ඔවුන්ගේ නගර සමඟ ඔවුන් මුළුමනින් ම විනාශ කරදැමුවේ ය.</verse>
				<verse number="22">ඉශ්රායෙල් ජනයාගේ දේශයෙහි අනාක්වරු එක් කෙනෙක් වත් ඉතිරි නො වූ හ. ගාසාහි ද ගාත්හි ද අෂ්දොද්හි ද පමණක් ඔව්හු ඉතිරි ව සිටියෝ ය.</verse>
				<verse number="23">මෙසේ සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාළ සියල්ල ලෙස ජෝෂුවා මුළු දේශය අල්ලාගෙන, ඉශ්රායෙල්වරුන්ගේ ගෝත්‍ර අනුව එය කොටස්වලට බෙදා, ඔවුන්ට උරුම කොට දුන්නේ ය. ඉන්පසු යුද්ධයෙන් තොර ව සාමය ඇති විය.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">නැගෙනහිරට ජොර්දානෙන් එගොඩ අර්ණොන් ඔය පටන් හෙර්මොන් කන්ද දක්වා ද මුළු නැගෙනහිර අරබා සමභූමියට ද ඉශ්රායෙල් සෙනඟ පහර දී හිමි කරගත්තෝ ය. ඒ දේශයේ රජවරු මොවුහු ය.</verse>
				<verse number="2">හෙෂ්බොන්හි විසූ අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් ය. ඔහු අර්ණොන් ඔය අද්දර තිබෙන අරෝයෙර් පටන් ද මිටියාවත මැද තිබෙන නුවර පටන් ද අම්මොන් වැසියන්ගේ සීමාව වන ජබ්බොක් ඔය දක්වා ගිලියද් අර්ධයක් කෙරෙහි ද</verse>
				<verse number="3">නැගෙනහිරට කින්නෙරෙත් මුහුද දක්වාත්, බෙත්-ජෙෂිමොත්ට යන මාර්ගයෙහි පිස්ගා පාමුලට පහළින් දකුණු දිශාවට තිබෙන ලුණු මුහුද වන අරබා සමභූමියෙහි මුහුද දක්වාත් නැගෙනහිරට තිබෙන අරබා සමභූමිය කෙරෙහි ද ආණ්ඩු කෙළේ ය.</verse>
				<verse number="4">රෙපායිම් යන යෝධයන්ගෙන් ඉතිරි ව සිටි බාෂාන්හි රජ වූ ඕග්ගේ පළාතටත් ඔව්හු පහර දී එය හිමි කරගත්තෝ ය. ඕග් වූකලී අෂ්ටාරොත්හිත්, එද්‍රෙයෙහිත් වාසය කෙළේ ය.</verse>
				<verse number="5">ඔහු හෙර්මොන් කන්ද ද සලෙකා ද ගෙෂුර්වරුන්ගේ සහ මයකාත්වරුන්ගේ සීමා දක්වා මුළු බාෂාන් ද හෙෂ්බොන්හි රජ වූ සීහොන්ගේ සීමාව දක්වා ද ගිලියද් අර්ධයක් ද කෙරෙහි ආණ්ඩු කෙළේ ය. සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් ද ඉශ්රායෙල් සෙනඟ ද ඔවුන්ට පහර දුන්නෝ ය.</verse>
				<verse number="6">සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් ඒ රට රූබන්වරුන්ටත්, ගාද්වරුන්ටත්, මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් උරුම කොට දුන්නේ ය.</verse>
				<verse number="7">බස්නාහිරට ජොර්දානෙන් මෙගොඩ ලෙබනොන් මිටියාවතේ තිබෙන බාල්-ගාද් පටන් සේයිර්ට නඟින මාර්ගයෙහි හලක් කන්ද දක්වා වූ දේශයට ජෝෂුවා සහ ඉශ්රායෙල් සෙනඟ පහර දුන්නෝ ය. ජෝෂුවා ඉශ්රායෙල්වරුන්ගේ ගෝත්‍ර අනුව ඒ දේශය කොටස් කර බෙදා ඔවුන්ට හිමිකර දුන්නේ ය.</verse>
				<verse number="8">මේ දේශය කඳු රටෙහි ද පහත රටෙහි ද අරබා සමභූමියෙහි ද කඳු බෑවුම් ළඟ ද කාන්තාරයෙහි ද දකුණු දිශාවෙහි ද වාසය කළ හිත්තීවරුන්ටත්, අමෝරිවරුන්ටත්, කානානිවරුන්ටත්, පෙරිස්සිවරුන්ටත්, හිවීවරුන්ටත්, ජෙබුසිවරුන්ටත් අයිති ව තිබිණි.</verse>
				<verse number="9">පරාජය කරන ලද රජවරු මොවුහු ය. ජෙරිකෝවේ රජ; බෙතෙල් අසල ආයිහි රජ;</verse>
				<verse number="10">ජෙරුසලමේ රජ; හෙබ්‍රොන්හි රජ;</verse>
				<verse number="11">ජර්මුත්හි රජ; ලාකීෂ්හි රජ;</verse>
				<verse number="12">එග්ලොන්හි රජ; ගෙශෙර්හි රජ;</verse>
				<verse number="13">දෙබීර්හි රජ; ගෙඩෙර්හි රජ;</verse>
				<verse number="14">හොර්මාහි රජ; අරාද්හි රජ;</verse>
				<verse number="15">ලිබ්නාහි රජ; අදුල්ලහි රජ;</verse>
				<verse number="16">මක්කේදාහි රජ; බෙතෙල්හි රජ;</verse>
				<verse number="17">තප්පුවාහි රජ; හේපෙර්හි රජ;</verse>
				<verse number="18">අපෙක්හි රජ; ලෂ්-ෂාරොන්හි රජ;</verse>
				<verse number="19">මාදොන්හි රජ; හාශොර්හි රජ;</verse>
				<verse number="20">ෂිම්රොන්-මෙරොන්හි රජ; අක්ෂාප්හි රජ;</verse>
				<verse number="21">තයනාක්හි රජ; මෙගිද්දෝහි රජ;</verse>
				<verse number="22">කෙදෙෂ්හි රජ; කර්මෙල්ට අයිති ජොක්නෙයාම්හි රජ;</verse>
				<verse number="23">දෝර් කඳුකරේ දෝර්හි රජ; ගිල්ගාල්හි විසූ ගොයිම්හි රජ හා</verse>
				<verse number="24">තිර්ශාහි රජ ය. සියලු රජවරු තිස්එක්දෙනෙක් වූ හ.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">ජෝෂුවා මහලු ව, වයෝවෘද්ධ ව සිටියේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹ මහලු ව, වයෝවෘද්ධ ව සිටින්නෙහි ය; හිමි කරගැනීමට දේශයෙන් විශාල කොටසක් තව ම ඉතිරි ව තිබේ.</verse>
				<verse number="2">ඉතිරි ව තිබෙන ප්‍රදේශ නම් මේවා ය. පිලිස්තිවරුන්ගේ සියලු ප්‍රදේශ හා ගෙෂුර්වරුන්ගේ සියලු ප්‍රදේශ වේ. එනම්, මිසරයට නැගෙනහිරෙන් තිබෙන ෂිහොර් සිට උතුරේ එක්‍රොන් දක්වා කානානිවරුන්ගේ පළාත් වශයෙන් ගැණෙන ප්‍රදේශ ය.</verse>
				<verse number="3">“ඒ ප්‍රදේශයේ ගාසාවේ ද අෂ්දොද්හි ද අෂ්කෙලොන්හි ද ගාත්හි ද එක්‍රොන්හි ද පිලිස්තිවරුන්ගේ අධිපතීහු පස්දෙනා විසූ හ. තවද, අවිම් පළාත ද එයට අයිති ය.</verse>
				<verse number="4">දකුණු දිශාවේ ද සීදොන්වරුන්ට අයිති වූ මෙයාරාහි පටන් අපෙක් දක්වා අමෝරිවරුන්ගේ සීමාව තෙක් කානානිවරුන්ගේ මුළු දේශයත්,</verse>
				<verse number="5">ගෙබල්වරුන්ගේ දේශයත්, නැගෙනහිරට හෙර්මොන් කන්ද පහළින් තිබෙන බාල්-ගාද් පටන් හමාත්ට ඇතුළු වන තැන දක්වා මුළු ලෙබනොන් ප්‍රදේශයත් ය.</verse>
				<verse number="6">ලෙබනොන් පටන් මිස්රෙපොත්-මායිම් දක්වා කඳු රටේ සියලු වැසියන් වන සියලු සීදොන්වරුන් මම ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් පන්නාදමන්නෙමි. මා නුඹට අණ කළ හැටියට පස ඇට දමා ඒ ප්‍රදේශය ඉශ්රායෙල්වරුන්ට උරුමයක් වශයෙන් බෙදා දෙන්න.</verse>
				<verse number="7">එබැවින් දැන් මේ දේශය ද ගෝත්‍ර නවයටත්, මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් බෙදා දෙන්න.”</verse>
				<verse number="8">මනස්සේගේ සෙසු අර්ධ ගෝත්‍රයටත්, රූබන්වරුන්ටත්, ගාද්වරුන්ටත් සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් ජොර්දානෙන් නැගෙනහිර ප්‍රදේශය උරුම කොට දුන්නේ ය.</verse>
				<verse number="9">ඒ ප්‍රදේශය අර්ණොන් ඔය අද්දර තිබෙන අරෝයෙර් පටන් ද මිටියාවත මැද තිබෙන නුවර පටන් ද දීබොන් දක්වා තිබෙන මෙදිබාහි මුළු සමභූමිය දක්වා පැතිර තිබිණි.</verse>
				<verse number="10">ඒ ප්‍රදේශයට හෙෂ්බොන්හි රජකම් කළ අමෝරිවරුන්ගේ රජ වූ සීහොන්ට, අම්මොන්වරුන්ගේ සීමාව දක්වා අයිති ව තිබුණු සියලු නගර ද</verse>
				<verse number="11">ගිලියද් ද ගෙෂුර්වරුන්ගේත්, මයකාත්වරුන්ගේත් පළාත ද මුළු හෙර්මොන් කඳුකරය ද</verse>
				<verse number="12">තවද, අෂ්ටාරොත්හිත්, එද්‍රෙයෙහිත් රජකම් කළ බාෂාන්හි ඕග් රජුගේ රාජ්‍යය ද සලෙකා දක්වා ඇතුළත් ය. ඕග් රෙපායිම් යෝධයන්ගෙන් ඉතිරි ව සිටි කෙනෙකි. මෝසෙස් ඔවුන්ට පහර දී ඔවුන් පන්නාදැමුවේ ය.</verse>
				<verse number="13">එසේ වී නමුත්, ඉශ්රායෙල් සෙනඟ ගෙෂුර්වරුන් ද මයකාත්වරුන් ද පන්නා නොදැමුවෝ ය. ගෙෂුර්වරු ද මයකාත්වරු ද අද දක්වා ඉශ්රායෙල්වරුන් අතරෙහි වාසය කරති.</verse>
				<verse number="14">මෝසෙස් ලෙවී ගෝත්‍රයට පමණක් කිසි උරුමයක් නුදුන්නේ ය. ඔහු ඔවුන්ට කී පරිදි, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ගින්නෙන් ඔප්පු කරන පූජා ඔවුන්ගේ උරුමය විය.</verse>
				<verse number="15">මෝසෙස් රූබන්වරුන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට උරුමයක් දී තිබුණේ ය.</verse>
				<verse number="16">ඔවුන්ගේ පළාත නම්, අර්ණොන් ඔය අද්දර තිබෙන අරෝයෙර් පටන් ද මිටියාවත මැද තිබෙන නුවර පටන් ද මෙදිබා ළඟ තිබෙන මුළු තැනිතලා ද</verse>
				<verse number="17">හෙෂ්බොන් හා ඊට අයිති තැනිතලාවේ තිබෙන සියලු නගර වන දීබොන් ද බමොත්-බාල් ද බෙත්-බාල්මෙයොන් ද</verse>
				<verse number="18">ජාහශ් ද කෙදේමොත් ද මෙපාත් ද</verse>
				<verse number="19">කිරියාතයිම් ද සිබ්මා ද මිටියාවතේ කන්දෙහි තිබෙන ශෙරෙත්-ෂහර් ද</verse>
				<verse number="20">බෙත්-පෙයොර් ද පිස්ගාහි කඳු බෑවුම් ද බෙත්-ජෙසිමොත් ද</verse>
				<verse number="21">තැනිතලාවේ සියලු නගර ද හෙෂ්බොන්හි රජකම් කළ අමෝරිවරුන්ගේ රජ වූ සීහොන්ගේ මුළු රාජ්‍යය ද යන මේවා ය. සීහොන් රජුට සහ දේශයේ වාසය කළ ඔහුගේ අමාත්‍යයන් ව සිටි මිදියන්හි අධිපතීන් වන එවීටත්, රෙකෙම්ටත්, ශුර්ටත්, හුර්ටත්, රෙබාටත් මෝසෙස් පහර දුන්නේ ය.</verse>
				<verse number="22">ඉශ්රායෙල් සෙනඟ විසින් කඩුවෙන් මරන ලද්දවුන් අතරේ බෙයෝර්ගේ පුත් බාලාම් නම් පේන කියන්නා ද විය.</verse>
				<verse number="23">රූබන් ගෝත්‍රයේ දේශ සීමාවේ මායිම ජොර්දාන් ගඟ විය. මේවා වනාහි රූබන් ගෝත්‍රයේ පවුල්වලට උරුම කර දුන් නගර හා ගම් ය.</verse>
				<verse number="24">මෝසෙස් ගාද්වරුන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට උරුමයක් දී තිබුණේ ය.</verse>
				<verse number="25">ඔවුන්ගේ පළාත ජාශෙර් ද ගිලියද්හි සියලු නගර ද රබ්බා ඉදිරිපිට තිබෙන අරෝයෙර් දක්වා අම්මොන්වරුන්ගේ රටෙන් දෙකෙන් කොටස ද</verse>
				<verse number="26">හෙෂ්බොන් පටන් රාමත්-මිශ්පේ සහ බෙතොනිම් දක්වාත් මහනයිම් පටන් දෙබීර් සීමාව දක්වාත් තිබෙන පළාත් ද</verse>
				<verse number="27">හෙෂ්බොන්හි රජ වූ සීහොන්ගේ රාජ්‍යයෙන් ඉතිරි කොට්ඨාශය වන මිටියාවතේ තිබෙන බෙත්-හාරාම් ද බෙත්-නිම්රා ද සුක්කොත් ද ශාපොන් ද නැගෙනහිරට ජොර්දානෙන් එගොඩ කින්නෙරෙත් මුහුදේ කෙළවර දක්වාත් ජොර්දාන් සහ සීමාව ද යන මේ ය.</verse>
				<verse number="28">මේවා වනාහි ගාද් ගෝත්‍රයේ පවුල්වලට උරුම කර දෙන ලද නගර හා ගම් ය.</verse>
				<verse number="29">මෝසෙස් මනස්සේ අර්ධ ගෝත්‍රයටත් ඔවුන්ගේ පවුල්වල හැටියට උරුමයක් දුන්නේ ය.</verse>
				<verse number="30">ඔවුන්ගේ පළාත නම්, මහනයිම් පටන් මුළු බාෂාන් වන බාෂාන්හි රජ වූ ඕග් රජුගේ මුළු රාජ්‍යයත් බාෂාන්හි තිබෙන ජායිර්ගේ සියලු නගර එනම්, නගර හැටකුත් ය.</verse>
				<verse number="31">ගිලියද් දේශයෙන් අර්ධයක් ද බාෂාන්හි තිබෙන ඕග් රජුගේ රාජ්‍යයේ නගර වන අෂ්ටාරොත් ද එද්‍රෙයි ද මනස්සේගේ පුත් මාකීර්ගේ පුත්‍රයන්ට එනම්, මාකීර්ගේ පුත්‍රයන්ගෙන් දෙකෙන් කොටසකට තමන්ගේ පවුල්වල හැටියට උරුම ලැබුණේ ය.</verse>
				<verse number="32">මෝසෙස් විසින් ජොර්දානෙන් එගොඩ, ජෙරිකෝවට නැගෙනහිරෙන් තිබූ මෝවබ් තැනිතලාවල දී උරුම වශයෙන් බෙදා දෙන ලද කොටස් ඉහත කී ඒවා ය.</verse>
				<verse number="33">මෝසෙස් ලෙවී ගෝත්‍රයට පමණක් කිසි උරුමයක් නුදුන්නේ ය. ඔහු ඔවුන්ට කී පරිදි, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ උරුමය වූ සේක.</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">ඉශ්රායෙල් සෙනඟට කානාන් දේශයෙන් ලැබූ උරුම කොටස් මේවා ය. පූජක එලෙයාසර් ද නූන්ගේ පුත් ජෝෂුවා ද ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල පවුල් ප්‍රධානීහු ද ඒවා ඔවුන්ට බෙදා දුන්නෝ ය.</verse>
				<verse number="2">සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ගෝත්‍ර නවයටත්, අර්ධ ගෝත්‍රයටත් දාදු දැමීමෙන් ඔවුන්ගේ උරුම ලැබුණේ ය.</verse>
				<verse number="3">ගෝත්‍ර දෙකටත් අර්ධ ගෝත්‍රයටත් මෝසෙස් ජොර්දානෙන් එගොඩ ඔවුන්ගේ උරුමය දී තිබිණි. එහෙත්, ලෙවීවරුන්ට ඔවුන් අතරේ උරුමයක් නොදුන්නේ ය.</verse>
				<verse number="4">ජෝසෙප්ගේ පරපුර මනස්සේ සහ එප්‍රායිම් යන ගෝත්‍ර දෙකට බෙදන ලද්දේ ය. ලෙවීවරුන්ට දේශයෙන් කිසි කොටසක් නොලැබුණේ ය. ඒ වෙනුවට ජීවත් වන පිණිස නගර ද ඔවුන්ගේ ගව පට්ටි සහ එළු බැටළු පට්ටි සඳහා තණ බිම් ද දෙන ලද්දේ ය.</verse>
				<verse number="5">ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි කරමින් දේශය බෙදුවෝ ය.</verse>
				<verse number="6">එවිට ජුදා ගෝත්‍රය ගිල්ගාල්හි සිටි ජෝෂුවා වෙත ආවෝ ය. කෙනිස්සියේ වැසියෙකු වූ ජෙපුන්නේගේ පුත් කාලෙබ් ජෝෂුවා අමතා මෙසේ කීවේ ය: “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙකු වූ මෝසෙස්ට සමිඳාණන් වහන්සේ කාදෙෂ්-බර්නේයේ දී මා ගැනත්, ඔබ ගැනත් වදාළ කාරණය ඔබ දන්නෙහි ය.</verse>
				<verse number="7">දේශයේ ඔත්තු බලන පිණිස සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් කාදෙෂ්-බර්නේයේ සිට මා එවූ කල මම සතළිස් අවුරුද්දක් වයස් ව සිටියෙමි. මම ද පෙරළා අවුත් සත්‍ය වාර්තාවක් ඔහුට දුන්නෙමි.</verse>
				<verse number="8">එහෙත්, මා සමඟ ගිය සහෝදරයෝ සෙනඟ තැති ගැන්නුවෝ ය. එසේ වුව ද, මම සම්පූර්ණ ලෙස මාගේ දෙවි සමිඳාණන් වහන්සේට කීකරු වුණෙමි.</verse>
				<verse number="9">මෝසෙස් ඒ දවසේ දී දිවුරුම් දෙමින්, ‘ඔබ සම්පූර්ණ ලෙස මාගේ සමිඳාණන් වහන්සේට කීකරු වූ නිසා සැබැවින් ම ඔබ පය තැබූ දේශය ඔබටත්, ඔබේ දරුවන්ටත් සදාකාල උරුමයක් වන පිණිස වන්නේ ය’යි කීවේ ය.</verse>
				<verse number="10">දැන් බලන්න, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට මේ දේ වදාළ දවස සිට අද දක්වා සතළිස්පස් අවුරුද්දක් ගත වී ඇත. ඒ වූකලී ඉශ්රායෙල් සෙනඟ පාළුකරය මැදින් ගමන් කළ කාලය ය. අද වන තුරු සමිඳාණන් වහන්සේ මා ජීවත් කොට රක්ෂා කළ සේක. අද මම අසූපස් අවුරුද්දක් වයස් ව සිටිමි.</verse>
				<verse number="11">මෝසෙස් මා පිටත් කර යැවූ දවසේ මෙන් ම අදත් මම ශක්තිමත් ව සිටිමි. යුද්ධ කරන්නටත් කොයි දේ කරන්නටත් ඒ කාලයේ තිබුණාක් මෙන් ම දැනුත් මට ශක්තිය තිබේ.</verse>
				<verse number="12">සමිඳාණන් වහන්සේ ඒ දවසේ දී සඳහන් කළ මේ කඳුකර පළාත මට දුන මැනවි. එහි අනාක්වරුන් සිටින බව ද පවුරු ඇති මහ නගර තිබෙන බව ද ඔබට ඒ දවසේ දී අපි කීවෙමු. සමිඳාණන් වහන්සේ වදාළ පරිදි සමහර විට උන් වහන්සේ මා සමඟ සිටිනු ඇත. එවිට මම ඔවුන් පන්නාදමමි.</verse>
				<verse number="13">ජෝෂුවා ජෙපුන්නේගේ පුත් කාලෙබ්ට ආශීර්වාද කොට, ඔහුට හෙබ්‍රොන් නුවර උරුම කොට දුන්නේ ය.</verse>
				<verse number="14">එබැවින් කෙනෙස්සියේ වැසියෙකු වූ ජෙපුන්නේගේ පුත් කාලෙබ් සම්පූර්ණ ලෙස ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට කීකරු වූ නිසා හෙබ්‍රොන් අද දවස දක්වා ඔහුගේ උරුමය ව තිබේ.</verse>
				<verse number="15">මීට පළමුවෙන් හෙබ්‍රොන් නගරයේ නම කිරියත්-අර්බා ය. අර්බා වනාහි අනාක්වරුන් අතර සිටි ඉතා ශ්‍රේෂ්ඨ තැනැත්තා ය. යුද්ධයෙන් තොර ව රටේ සාමදානය ඇති විය.</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">ජුදා ගෝත්‍රයට ඔවුන්ගේ පවුල් ගණන අනුව ලැබුණු කොටස, දකුණෙහි ඒදොම් සීමාව වන ශීන් පාළුකරයේ දකුණු සීමාන්තය දක්වා ම පිහිටා තිබිණි.</verse>
				<verse number="2">ඔවුන්ගේ දකුණු සීමාන්තය මළ මුහුදේ කෙළවර වන, දකුණට හැරී තිබෙන වරාය පටන්,</verse>
				<verse number="3">අක්‍රාබිම්හි නැඟුමට දකුණෙන් වැටී ශීන් දක්වා ගොස්, කාදෙෂ්-බර්නේයට දකුණෙන් නැඟී හෙෂ්රොන්ට ගොස්, අද්දාර්ට නැඟී කර්කා දෙසට හැරී ගොස්,</verse>
				<verse number="4">අශ්මොන්ට පැමිණ, මිසරයේ ඔය දක්වාත් තිබිණි. ඒ සීමාව මුහුද ළඟ කෙළවර විය. මෙය ජුදා ගෝත්‍රයේ දකුණු සීමාව විය.</verse>
				<verse number="5">නැගෙනහිර සීමාව ජොර්දාන් ගඟේ මෝය දක්වා වන මළ මුහුද ය. උතුරු පැත්තේ සීමාව ජොර්දාන් ගඟේ කෙළවරෙහි වන මුහුදේ වරාය සිට ය.</verse>
				<verse number="6">මේ සීමාව බෙත්-හොග්ලාට නැඟී, බෙත්-අරබාට උතුරෙන් ගොස් රූබන්ගේ පුත් බොහන්ගේ ගල ළඟට නැඟී,</verse>
				<verse number="7">ආකොර් මිටියාවතෙන් දෙබීර්ට නැඟී, ඔයට දකුණෙන් තිබෙන අදුම්මිම්හි නැඟුම ඉදිරිපිට තිබෙන ගිල්ගාල් දෙසට උතුරට හැරී ගොස්, එතැනින් ඒන්-ෂෙමෙෂ්හි ජල ළඟට ගොස්, ඒන්-රොගෙල් ළඟ කෙළවර වුණේ ය.</verse>
				<verse number="8">එතැනින් සීමාව ජෙබුසිවරුන් වාසය කළ ජෙරුසලමට දකුණු පැත්තෙන් හින්නොම්ගේ පුත්‍රයන්ගේ මිටියාවත මැදින් නැඟී ගොස්, හින්නොම්ගේ මිටියාවත ඉදිරිපිට බස්නාහිරෙන් ද රෙපායිම්වරුන්ගේ මිටියාවතට උතුරෙන් තිබෙන කන්ද මුදුන දක්වා වැටී තිබිණි.</verse>
				<verse number="9">සීමාව කන්ද මුදුනේ සිට නෙප්තොවාහි දිය උල්පතට එතැනින් එප්‍රොන් කන්දේ නගර දක්වා වැටී ගියේ ය. එතැනින් කිරියත්-ජෙයාරීම් වන බාලාට ගොස්,</verse>
				<verse number="10">බාලා සිට බස්නාහිරට හැරී සේයිර් කන්දට ද එතැනින් කෙසාලොන් වන ජෙයාරීම් කන්දට උතුරු පැත්තෙන් ද ගොස් බෙත්-ෂෙමෙෂ්ට බැස තිම්නා දක්වා විය.</verse>
				<verse number="11">එතැනින් සීමාව එක්‍රොන්ට උතුරු පැත්තෙන් ගොස් ෂික්-කෙරොන්ට වැටී එතැනින් බාලා කන්දට ගොස් ජබ්නෙයෙල්ට වැටී, මධ්‍යධරණි මුහුද ළඟ කෙළවර වුණේ ය.</verse>
				<verse number="12">බස්නාහිර සීමාව මධ්‍යධරණි මුහුදත් එහි වෙරළත් ය. ජුදා ගෝත්‍රයේ පවුල්වලට දී තිබුණ ප්‍රදේශය වටේට වූ සීමාව මෙය විය.</verse>
				<verse number="13">සමිඳාණන් වහන්සේ තමාට අණ කළ පරිදි ජෝෂුවා ජෙපුන්නේගේ පුත් කාලෙබ්ට ජුදා ජනයා අතර කොටසක් දුන්නේ ය. එය හෙබ්‍රොන් නම් වූ කිරියත්-අර්බා ය. අර්බා අනාක්වරුන්ගේ පියා ය.</verse>
				<verse number="14">කාලෙබ්, අනාක්ගෙන් පැවත ආ ෂේෂයි ද අහීමාන් ද තල්මයි ද යන අනාක්ගේ පුත්‍රයන් තුන්දෙනා එතැනින් පන්නා දැමුවේ ය.</verse>
				<verse number="15">එතැනින් ඔහු දෙබීර් වැසියන්ට විරුද්ධ ව ගියේ ය. කලින් දෙබීර්ට කිරියත්-සේපෙර් යන නම තිබුණේ ය.</verse>
				<verse number="16">කාලෙබ් කතා කොට, “කිරියත්-සේපෙර්ට පහර දී එය අල්ලාගන්න තැනැත්තාට මාගේ දුව වන අක්සා භාර්යාව වශයෙන් පාවා දෙන්නෙමි”යි කීවේ ය.</verse>
				<verse number="17">කාලෙබ්ගේ සහෝදරයා වන කෙනස්ගේ පුත් ඔත්නියෙල් එය අල්ලාගත්තේ ය. කාලෙබ් තමාගේ දුව වන අක්සා ඔහුට භාර්යාව වශයෙන් පාවා දුන්නේ ය.</verse>
				<verse number="18">ඈ ඔත්නියෙල් වෙත පැමිණි කල ඇගේ පියාගෙන් කෙතක් ඉල්ලන ලෙස ඔහු ඈට පෙරැත්ත කෙළේ ය. ඈ කාලෙබ් වෙත ගොස් කොටළුවා පිටින් බැස්ස විට, “ඔබට ඕනෑ කුමක් දැ”යි කාලෙබ් ඇසී ය.</verse>
				<verse number="19">ඈ පිළිතුරු දෙමින්, “මට වරයක් දුන මැනවි; ඔබ වියළි රටක් වන නෙගෙබ් රට මට දී තිබෙන බැවින් දිය උල්පත් ද මට දුන මැනව”යි කීවා ය. එවිට ඔහු ඉහළ උල්පත් ද පහළ උල්පත් ද ඈට දුන්නේ ය.</verse>
				<verse number="20">ජුදා ජනයාගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල් ගණන අනුව ලැබුණ උරුමය මේ ය.</verse>
				<verse number="21">දකුණු දිශාවෙහි ඒදොම්හි සීමාව දක්වා ජුදා ජනයාගේ ගෝත්‍රයට තිබුණු ඉතා දුර වූ නගර නම්: කබ්ශෙයෙල් ද ඒදෙර් ද ජාගුර් ද</verse>
				<verse number="22">කීනා ද දිමෝනා ද අදාදා ද</verse>
				<verse number="23">කෙදෙෂ් ද හාශෝර් ද ඉත්නාන් ද</verse>
				<verse number="24">ශීප් ද තෙලෙම් ද බෙයාලොත් ද</verse>
				<verse number="25">හාශෝර්-හදත්තා ද කෙරියොත්-හෙෂ්රොන් වන හාශෝර් ද</verse>
				<verse number="26">ආමාම් ද ෂෙමා ද මෝලාදා ද</verse>
				<verse number="27">හශර්ගද්දා ද හෙෂ්මොන් ද බෙත්-පෙලෙත් ද</verse>
				<verse number="28">හෂර්-ෂුවාල් ද බෙයර්-ෂෙබා ද බිස්යෝතියා ද</verse>
				<verse number="29">බාලා ද ඉයිම් ද එශෙම් ද</verse>
				<verse number="30">එල්තෝලද් ද කෙසීල් ද හොර්මා ද</verse>
				<verse number="31">ශික්ලග් ද මද්මන්නා ද සන්සන්නා ද</verse>
				<verse number="32">ලෙබායොත් ද ෂිල්හිම් ද ආයින් ද රිම්මොන් ද යන මේවා ය. ගම් සහිත ව සියලු නගර විසිනවයක් ය.</verse>
				<verse number="33">තැනිතලා රටෙහි තිබුණු ඒවා නම්: එෂ්තායොල් ද ශොරා ද අෂ්නා ද</verse>
				<verse number="34">ශානොවා ද ඒන්-ගන්නීම් ද තප්පුවා ද ඒනාම් ද</verse>
				<verse number="35">ජර්මූත් ද අදුල්ලාම් ද සෝකෝ ද අශේකා ද</verse>
				<verse number="36">ෂයරයිම් ද අදීතයිම් ද ගෙදේරා ද ගෙදේරෝතයිම් ද යන නගර දහසතර සහ ඒවායේ ගම් ද යන මේවා ය.</verse>
				<verse number="37">ශෙනාන් ද හදාෂා ද මිග්දල්-ගාද් ද</verse>
				<verse number="38">දිල්යාන් ද මිශ්පේ ද ජොක්තෙයෙල් ද</verse>
				<verse number="39">ලාකීෂ් ද බොශ්කාත් ද එග්ලොන් ද</verse>
				<verse number="40">කබ්බොන් ද ලාමාම් ද කිත්ලීෂ් ද</verse>
				<verse number="41">ගෙදේරොත් ද බෙත්-දාගොන් ද නාමා ද මක්කේදා ද යන නගර දහසය සහ ඒවායේ ගම් ද යන මේවා ය.</verse>
				<verse number="42">ලිබ්නා ද ඒතෙර් ද ආෂාන් ද</verse>
				<verse number="43">ඉප්තා ද අෂ්නා ද නේශීබ් ද</verse>
				<verse number="44">කෙයිලා ද අක්ශීබ් ද මරේෂා ද යන නගර නවය සහ ඒවායේ ගම් ද යන මේවා ය.</verse>
				<verse number="45">එක්‍රොන් ද ඊට අයිති නගර සහ ගම් ද යන මේවා ය.</verse>
				<verse number="46">එක්‍රොන් පටන් බස්නාහිරට මධ්‍යධරණි මුහුද දක්වා අෂ්දොද් ළඟ තිබෙන සියලු නගර සහ ඒවායේ ගම් ය.</verse>
				<verse number="47">අෂ්දොද් ද ඊට අයිති නගර සහ ගම් ද යන මේවා ය. මිසරයේ ඔය සහ මධ්‍යධරණි මුහුදත් එහි අසබඩත් දක්වා ගාසා ද ඊට අයිති නගර සහ ගම් ද යන මේවා ය.</verse>
				<verse number="48">කඳු රටේ තිබුණු ඒවා නම්: ෂාමිර් ද ජත්තීර් ද සෝකෝ ද</verse>
				<verse number="49">දන්නා ද දෙබීර් වන කිරියත්-සන්නා ද</verse>
				<verse number="50">අනාබ් ද එෂ්තෙමෝ ද ආනිම් ද</verse>
				<verse number="51">ගෝෂෙන් ද හෝලොන් ද ගිලෝ ද යන නගර එකොළහ සහ ඒවායේ ගම් ද යන මේවා ය.</verse>
				<verse number="52">අරාබ් ද දූමා ද එෂාන් ද</verse>
				<verse number="53">ජානීම් ද බෙත්-තප්පුවා ද අපේකා ද</verse>
				<verse number="54">හුම්තා ද හෙබ්‍රොන් නම් වූ කිරියත්-අර්බා ද ශීයෝර් ද යන නගර නවය ද ඒවායේ ගම් ද යන මේවා ය.</verse>
				<verse number="55">මායොන් ද කර්මෙල් ද ශිප් ද ජුතා ද</verse>
				<verse number="56">ජෙශ්‍රෙරයෙල් ද ජොක්දෙයාම් ද ශානොවා ද</verse>
				<verse number="57">කායින් ද ගිබෙයා ද තිම්නා ද යන නගර දසය සහ ඒවායේ ගම් ද යන මේවා ය.</verse>
				<verse number="58">හල්හුල් ද බෙත්-ශුර් ද ගෙදෝර් ද</verse>
				<verse number="59">මාරාත් ද බෙත්-අනොත් ද එල්තෙකොන් ද යන නගර හය සහ ඒවායේ ගම් ද යන මේවා ය.</verse>
				<verse number="60">කිරියත්-ජෙයාරීම් වන කිරියත්-බාල් ද රබ්බා ද යන නගර දෙක සහ ඒවායේ ගම් ය.</verse>
				<verse number="61">පාළුකරයේ තිබුණ ඒවා නම්: බෙත්-අරබා ද මිද්දීන් ද සෙකාකා ද</verse>
				<verse number="62">නිබ්ෂාන් ද ලුණු නුවර ද ඒන්-ගෙදී ද යන නගර හය සහ ඒවායේ ගම් ය.</verse>
				<verse number="63">එහෙත්, ජෙරුසලමේ වාසය කළ ජෙබුසිවරුන් පන්නාදමන්නට ජුදා ජනයාට නොහැකි විය. අද දවස දක්වා ජෙබුසිවරු ජුදා ජනයා සමඟ ජෙරුසලමෙහි වාසය කරති.</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">ජෝසෙප්ගේ පරපුරට පැවරුණු කොටසේ සීමාව නැගෙනහිර පාළුකරය ළඟ තිබෙන ජෙරිකෝවේ ගඟ ළඟ ජෙරිකෝව ඉදිරිපිට තිබෙන ජොර්දානේ පටන් ජෙරිකෝවෙන් කඳු රට මැදින් බෙතෙල්ට නැඟී ගොස්</verse>
				<verse number="2">බෙතෙල් සිට ලූස්ට ගොස්, අර්කිවරුන්ගේ සීමාවේ අතාරෝත්ට පැමිණ</verse>
				<verse number="3">එතැනින් බස්නාහිරට ජප්ලේතිවරුන්ගේ සීමාවටත් පහළ බෙත්-හෝරොන් සීමාවටත්, ගෙශෙර්ටත් බැස ගොස්, මධ්‍යධරණි මුහුද ළඟ කෙළවර වුණේ ය.</verse>
				<verse number="4">මනස්සේ සහ එප්‍රායිම් යන ජෝසෙප්ගේ පුත්‍රයෝ මෙසේ තමන්ගේ උරුමය ලැබූ හ.</verse>
				<verse number="5">එප්‍රායිම් පෙළපතේ සීමාව ඔවුන්ගේ පවුල් ගණන අනුව මෙසේ විය. නැගෙනහිරට ඔවුන්ගේ උරුමයේ සීමාව අතාරොත්-අද්දාර් පටන් ඉහළ බෙත්-හෝරොන් දක්වා ය;</verse>
				<verse number="6">උතුරු සීමාව මික්මෙතාත් සිට මධ්‍යධරණි මුහුදට විය. එතැනින් සීමාව නැගෙනහිරට හැරී තානත්-ෂීලෝ ළඟට ගොස්, ජනෝවාට නැගෙනහිරින් එය පසු කර වැටී තිබිණි.</verse>
				<verse number="7">ජනෝවාවෙන් අතාරෝත්ටත්, නාරාටත් බැස ජෙරිකෝවට පැමිණ ජොර්දාන දක්වා වැටී තිබිණි.</verse>
				<verse number="8">තප්පුවා සිට සීමාව බස්නාහිර දෙස කානා ඔයට ගොස් මධ්‍යධරණි මුහුද ළඟ කෙළවර වුණේ ය. එප්‍රායිම් ගෝත්‍රයට ඔවුන්ගේ පවුල් ගණන අනුව තිබුණු උරුමය වනාහි</verse>
				<verse number="9">එය සහ මනස්සේගේ ගෝත්‍රයේ උරුමය තුළ එප්‍රායිම් ගෝත්‍රයට වෙන් කරන්නට යෙදුණු ඒවායේ සියලු නගර හා ගම් ද වේ.</verse>
				<verse number="10">ඔව්හු ගෙශෙර්හි වාසය කළ කානානිවරුන් පන්නා නොදැමුවෝ ය. එහෙත්, කානානිවරු අද දක්වා එප්‍රායිම්වරුන් අතරේ වාසය කරමින් වහලුන් ලෙස වහල් වැඩට යටත් ව සිටිති.</verse>
			</chapter>
			<chapter number="17">
				<verse number="1">ජෝසෙප්ගේ කුලුඳුලා වූ මනස්සේගේ ගෝත්‍රයට ලැබුණු කොටස මේ ය. මනස්සේගේ කුලුඳුලා වූ ගිලියද්ගේ පිය වූ මාකීර් යුද්ධ භටයෙකු බැවින් ඔහුට ගිලියද් ද බාෂාන් ද ලැබුණේ ය.</verse>
				<verse number="2">මනස්සේගේ අනික් පුත්‍රයන් වන අබීයෙසෙර්ගේ පරපුරට ද හේලෙක්ගේ පරපුරට ද අශ්‍රීයෙල්ගේ පරපුරට ද ෂෙකෙම්ගේ පරපුරට ද හේපෙර්ගේ පරපුරට ද ෂෙමිදාගේ පරපුරට ද ඔවුන්ගේ පවුල් ගණන අනුව කොටස් ලැබුණේ ය. තමන්ගේ පවුල් ගණන අනුව ජෝසෙප්ගේ පුත් මනස්සේගේ පිරිමි දරුවෝ මොවුහු ය.</verse>
				<verse number="3">එහෙත්, මනස්සේගේ පුත්‍රයා වන මාකීර්ගේ පුත්‍ර වූ ගිලියද්ගේ පුත් වන හෙපෙර්ගේ පුත්‍ර වූ ශෙලෝපෙහාද්ට දූවරුන් මිස පුත්‍රයෝ නුවූ හ. ඔහුගේ දූවරුන්ගේ නාම මාලා, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ශා ය.</verse>
				<verse number="4">ඔව්හු පූජක එලෙයාසර් ද නූන්ගේ පුත් ජෝෂුවා ද ප්‍රජා මූලිකයන් ද ඉදිරියට අවුත්, “සමිඳාණන් වහන්සේ අපේ සහෝදරයන් අතරේ අපට උරුමයක් බෙදා දෙන්නට මෝසෙස්ට අණ කළ සේකැ”යි කීවෝ ය. එබැවින් ඔහු සමිඳාණන් වහන්සේගේ ආඥාව ලෙස ඔවුන්ගේ පියාගේ සහෝදරයන් අතරෙහි ඔවුන්ට උරුමයක් දුන්නේ ය.</verse>
				<verse number="5">ජොර්දානෙන් එගොඩ තිබෙන ගිලියද් ද බාෂාන් ද හැර, මනස්සේට කොටස් දසයක් පැවරුණේ ය.</verse>
				<verse number="6">මන්ද, මනස්සේගේ දූවරුන්ට ඔහුගේ පුත්‍රයන් අතරෙහි උරුමයක් ලැබුණු හෙයිනි. මනස්සේගේ අනික් පුත්‍රයන්ට ගිලියද් දේශය හිමි වුණේ ය.</verse>
				<verse number="7">මනස්සේගේ දේශ සීමාව ආෂෙර් පටන් ෂෙකෙම් ඉදිරියෙහි තිබෙන මික්මෙතාත් දක්වා විය; එතැනින් සීමාව දකුණට ඒන්-තප්පුවාහි වාසීන්ගේ දේශය දක්වා විය.</verse>
				<verse number="8">තප්පුවා රට මනස්සේට අයිති විය. එහෙත්, මනස්සේගේ සීමාවේ තිබුණු තප්පුවා එප්‍රායිම් ගෝත්‍රයට අයිති වුණේ ය.</verse>
				<verse number="9">එතැනින් සීමාව කානා ඔයට දකුණෙන් ඔය ළඟට බැස්සේ ය. මේ නගර මනස්සේගේ නගර අතරේ එප්‍රායිම්ට හිමි විය. මනස්සේගේ සීමාව ඔයට උතුරෙන් වැටී මධ්‍යධරණි මුහුද ළඟ කෙළවර වුණේ ය.</verse>
				<verse number="10">දකුණු පැත්ත එප්‍රායිම්ට ද උතුරු පැත්ත මනස්සේට ද අයිති ය; ඔහුගේ තවත් සීමාවක් මධ්‍යධරණි මුහුද ය; ඒවාට උතුරෙන් ආෂෙර්ගේ දේශයත්, නැගෙනහිරෙන් ඉස්සාකර්ගේ දේශයත් යාව තිබේ.</verse>
				<verse number="11">තවද, ඉස්සාකර්හි සහ ආෂෙර්හි බෙත්-ෂෙයාන් සහ ඊට අයිති නගර ද ඉබ්ලෙයාම් සහ ඊට අයිති නගර ද දෝර් වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද ඒන්-දෝර් වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද තයනාක් වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද මෙගිද්දෝ වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද යන උස් ප්‍රදේශ තුන මනස්සේට ලැබුණේ ය.</verse>
				<verse number="12">එහෙත්, මනස්සේගේ පුත්‍රයන්ට ඒ නගර වැසියන් පන්නාදමන්නට නොහැකි විය; එබැවින් කානානිවරු ඒ රටේ තමන්ගේ විසීම තහවුරු කරගත්තෝ ය.</verse>
				<verse number="13">ඉශ්රායෙල් ජනයා ශක්තිමත් වූ කල ඔව්හු කානානිවරුන් වහල් වැඩට පත් කළෝ ය; එහෙත්, ඔවුන් සහමුලින් පන්නා නොදැමූ හ.</verse>
				<verse number="14">ජෝසෙප්ගේ පරපුරේ අය ජෝෂුවාට කතා කොට, “සමිඳාණන් වහන්සේ මේ දක්වා අපට ආශීර්වාද කළ බැවින් අප විශාල සෙනඟක් ව සිටිය දී ඔබ එක කොටසක් ද එක පංගුවක් ද පමණක් අපට උරුම කොට දුන්නේ මන්දැ”යි ඇසූ හ.</verse>
				<verse number="15">ජෝෂුවා පිළිතුරු දෙමින්, “ඔබ හැම මහා සෙනඟක් නම්, එප්‍රායිම් කඳු රට ඔබට මදි බැවින් වනාන්තරයට ගොස් එහි පෙරිස්සිවරුන්ගේ ද රෙපායිම්වරුන්ගේ ද රටෙන් කොටසක් එළි කරගන්නැ”යි ඔවුන්ට කීවේ ය.</verse>
				<verse number="16">ජෝසෙප්ගේ පරපුරේ අය කතා කොට, “කඳු රට අපට මදි ය. මිටියාවත් රටෙහි, එනම්, බෙත්-ෂෙයාන්හි ද ඊට අයිති නගරවල ද ජෙශ්‍රෙයෙල් මිටියාවතෙහි ද වාසය කරන සියලු කානානිවරුන්ට යකඩ රථ තිබේ ය”යි කීවෝ ය.</verse>
				<verse number="17">ජෝෂුවා එප්‍රායිම් ද මනස්සේ ද යන ජෝසෙප්ගේ පරපුරට කතා කොට, “ඔබ හැම මහා සෙනඟක් ය; ඔබට බොහෝ බලය ඇත්තේ ය. ඔබ හැමට ලැබෙන්නේ එක කොටසක් පමණක් නොවේ ය.</verse>
				<verse number="18">කඳු රටත් ඔබට අයිති වන්නේ ය. එය වනාන්තරයක් වුවත් ඔබ එය කපා එළි කරගන්න. එවිට අන්තිම සීමාව දක්වා ම එය ඔබට වන්නේ ය. කානානිවරුන්ට යකඩ රථ තිබෙන නුමුත්, ඔවුන් ශක්තිමත් ව සිටින නුමුත්, ඔබ ඔවුන් පන්නාදමනු ඇතැ”යි කීවේ ය.</verse>
			</chapter>
			<chapter number="18">
				<verse number="1">ඉශ්රායෙල් ජනයාගේ මුළු සභාව ෂිලෝහි රැස් ව සම්මුඛ මණ්ඩපය එහි ඉදි කළෝ ය. මුළු දේශය දැන් ඔවුන්ට යටත් ව තිබුණේ ය.</verse>
				<verse number="2">තමන්ගේ උරුමය නොලැබූ ගෝත්‍ර සතක් ඉශ්රායෙල් ජනයන් අතරේ ඉතිරි ව සිටියෝ ය.</verse>
				<verse number="3">ජෝෂුවා ඔවුන්ට කතා කොට, “ඔබ හැමගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දී තිබෙන දේශය හිමි කරගැනීමට යන්නට ඔබ කොපමණ කල් ප්‍රමාද වන්නහු ද?</verse>
				<verse number="4">ඔබ උදෙසා එක එක ගෝත්‍රයෙන් මනුෂ්‍යයන් තුන්දෙනෙකු බැගින් පත් කරන්න. මම ඔවුන් යවන්නෙමි; ඔව්හු පිටත් ව දේශයෙහි ඔබමොබ ගමන් කොට තමන්ගේ උරුමවලට සුදුසු ලෙස ඒවා සටහන් කරගෙන මා වෙත එන්නෝ ය.</verse>
				<verse number="5">ඔව්හු ඒක සත් කොටසකට බෙදන්නෝ ය. ජුදා දකුණු දිග තමාගේ සීමාව තුළ සිටී වා; ජෝසෙප්ගේ පරපුර උතුරු දිග තිබෙන තමන්ගේ සීමාව තුළ සිටී වා.</verse>
				<verse number="6">ඔබ හැම දේශය සත් කොටසකට බෙදා, එහි භූමි සටහනක් මා ළඟට ගෙනෙන්න. මම අපේ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ හැම වෙනුවට මෙහි දී පස ඇට දමන්නෙමි.</verse>
				<verse number="7">මන්ද, ලෙවීවරුන්ට ඔබ අතරෙහි කොටසක් නැත; ඔවුන්ගේ උරුමය වනාහි සමිඳාණන් වහන්සේගේ පූජක තනතුර ය. ගාද්ටත්, රූබන්ටත්, මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් සමිඳාණන් වහන්සේගේ මෙහෙකාර මෝසෙස් ඔවුන්ට දුන් ඔවුන්ගේ උරුමය නැගෙනහිරට ජොර්දානෙන් එගොඩ ලැබී තිබේ ය”යි කීවේ ය.</verse>
				<verse number="8">ඒ මනුෂ්‍යයෝ පිටත් ව ගියෝ ය. ජෝෂුවා දේශයේ භූමි සටහනක් ගැනීමට පිටත් ව යන අයට අණ කරමින්, “ඔබ ගොස් ඒ දේශයෙහි ඇවිද එහි භූමි සටහන් කරගෙන මා ළඟට හැරී එන්න; මම මෙහි ෂිලෝහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ උදෙසා පස ඇට දමන්නෙමි”යි කීවේ ය.</verse>
				<verse number="9">ඒ මනුෂ්‍යයෝ දේශයෙහි ඇවිද, එය කොටස් හතකට බෙදා, නගරයෙන් නගරයට පොතක සටහන් කරගෙන ෂිලෝහි කඳවුරේ සිටි ජෝෂුවා ළඟට ආවෝ ය.</verse>
				<verse number="10">ජෝෂුවා ඔවුන් උදෙසා ෂිලෝහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පස ඇට දමා එහි දී ඉශ්රායෙල් ජනයාගේ කොට්ඨාශවල හැටියට දේශය බෙදා දුන්නේ ය.</verse>
				<verse number="11">බෙන්ජමින් පරපුරේ කොටස ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය. ඔවුන්ගේ කොටසේ පළාත ජුදාගේ පරපුරටත්, ජෝසෙප්ගේ පරපුරටත් අතරේ නියම වුණේ ය.</verse>
				<verse number="12">උතුරු පැත්තෙහි ඔවුන්ගේ සීමාව ජොර්දානෙන් පටන්ගෙන ජෙරිකෝවට උතුරු පැත්තෙන් නැඟී, කඳු රට මැදින් බස්නාහිරට ගොස්, බෙතාවන්හි පාළුකරය ළඟ දී කෙළවර වුණේ ය.</verse>
				<verse number="13">එතැනින් සීමාව බෙතෙල් නම් වූ ලූස්ට ගොස්, දකුණු පැත්තෙන් ලූස් පසු කර, පහළ බෙත්-හෝරොන්ට දකුණෙන් තිබෙන කන්දෙන් අටාරොත්-අද්දාර් දක්වා වැටී තිබුණේ ය.</verse>
				<verse number="14">එතැනින් සීමාව බෙත්-හෝරොන් ඉදිරිපිට ඊට දකුණෙන් තිබෙන කන්දෙන් දකුණට බස්නාහිර පැත්තට හැරී ගොස්, ජුදාගේ පරපුරට අයිති නගරයක් වූ කිරියත්-ජෙයාරීම් වන කිරියත්-බාල්හි කෙළවර වුණේ ය. බස්නාහිර පැත්ත මේ ය.</verse>
				<verse number="15">දකුණු පැත්ත කිරියත්-ජෙයාරීම්හි කෙළවර සිට පටන්ගෙන ඒ සීමාව බස්නාහිර දෙස නෙප්තෝවාහි දිය උල්පත දක්වා විය.</verse>
				<verse number="16">එතැනින් සීමාව හින්නොම්ගේ පරපුරට අයිති මිටියාවත ඉදිරිපිට රෙපායිම්වරුන්ගේ මිටියාවතෙහි උතුරට තිබෙන කන්දේ කෙළවරට බැස, එතැනින් ජෙබුසිවරුන්ට දකුණු පැත්තෙන් තිබෙන හින්නොම්ගේ මිටියාවතට බැස, එතැනින් ඒන්-රෝගෙල් දක්වා විය.</verse>
				<verse number="17">එය උතුරෙන් ගොස් ඒන්-ෂෙමෙෂ්ටත්, එතැනින් අදුම්මිම්හි නැඟුම ඉදිරිපිට තිබෙන ගෙලීලොත්ටත් පැමිණ, එතැනින් රූබන්ගේ පුත් බොහන්ගේ ගල දක්වා විය.</verse>
				<verse number="18">එතැනින් අරබා සමභූමිය ඉදිරිපිට උතුරු පැත්තෙන් ගොස් අරබා සමභූමියට බැස,</verse>
				<verse number="19">එතැනින් සීමාව උතුරු පැත්තෙන් බෙත්-හොග්ලාට ගොස්, ජොර්දානේ දකුණු කෙළවරේ තිබෙන මළ මුහුදේ උතුරු වරායෙහි කෙළවර වුණේ ය. දකුණු සීමාව මේ ය.</verse>
				<verse number="20">එහි නැගෙනහිර පැත්තෙන් සීමාව නම් ජොර්දාන ය. බෙන්ජමින් පරපුරේ පවුල් ගණන අනුව ඔවුන් වටකර සීමා හැටියට, ඔවුන්ගේ උරුමය මේ ය.</verse>
				<verse number="21">බෙන්ජමින් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව ලැබුණ නගර නම්: ජෙරිකෝව ද බෙත්-හොග්ලා ද ඒමෙක්-කෙශිශ් ද</verse>
				<verse number="22">බෙත්-අරබා ද ශෙමාරයිම් ද බෙතෙල් ද</verse>
				<verse number="23">අව්විම් ද පාරා ද ඔප්‍රා ද</verse>
				<verse number="24">කෙපර්-අම්මෝනී ද ඔප්නී ද ගෙබා ද යන නගර දොළොස සහ ඒවායේ ගම් ය.</verse>
				<verse number="25">ගිබියොන් ද රාමා ද බෙයේරොත් ද</verse>
				<verse number="26">මිශ්පේ ද කෙපීරා ද මෝශා ද</verse>
				<verse number="27">රෙකෙම් ද ඉර්පෙයෙල් ද තරලා ද</verse>
				<verse number="28">ශේලා ද එලෙප් ද ජෙරුසලම වන ජෙබුසීය ද ගිබෙයා ද කිරියත් ද යන නගර දසසතර සහ ඒවා යාබද ගම් ය. බෙන්ජමින් පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ උරුමය මේ ය.</verse>
			</chapter>
			<chapter number="19">
				<verse number="1">දෙ වන කොටස සිමියොන්ට, එනම්, සිමියොන්ගේ පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය. ඔවුන්ගේ උරුමය ජුදා පරපුරේ උරුමය ඇතුළත තිබුණේ ය.</verse>
				<verse number="2">ඔවුන්ගේ උරුමය නම්: බෙයර්-ෂෙබා හෙවත් ෂෙබා ද මෝලාදා ද</verse>
				<verse number="3">හශර්-ෂුවාල් ද බාලා ද එශෙම් ද</verse>
				<verse number="4">එල්තෝලද් ද බෙතුල් ද හොර්මා ද</verse>
				<verse number="5">ශික්ලග් ද බෙත්-මර්කාබොත් ද හශර්-සුසා ද</verse>
				<verse number="6">බෙත්-ලෙබායොත් ද ෂාරුහෙන් ද යන නගර දහතුන සහ ඒවා යාබද ගම් ය.</verse>
				<verse number="7">අයින් ද රිම්මොන් ද ඒතෙර් ද ආෂාන් ද යන මේ නගර සතර සහ ඒවායේ ගම් ය.</verse>
				<verse number="8">දකුණේ පිහිටි රාමා වන බාලත්-බෙයෙර් දක්වා ඒ නගර වටකර තිබෙන ගම් සියල්ලත් ය. සිමියොන් පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මේ ය.</verse>
				<verse number="9">සිමියොන් පරපුරේ උරුමය ජුදාගේ පරපුරේ කොට්ඨාශයෙන් ගන්නට යෙදුණේ ය. මන්ද, ජුදා පරපුරේ කොටස ඔවුන්ට පමණට වඩා විශාල ව තිබුණේ ය. එබැවින් ඔවුන්ගේ උරුමය ඇතුළත සිමියොන් පරපුරට උරුමයක් තිබුණේ ය.</verse>
				<verse number="10">තුන් වන කොටස සාබුලොන් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය. ඔවුන්ගේ උරුමයේ සීමාව සාරීද් දක්වා විය.</verse>
				<verse number="11">ඔවුන්ගේ සීමාව බස්නාහිර දෙස මරාලාට නැඟී, දබ්බෙෂෙත්ට ද ජොක්නෙයාම් ඉදිරියෙහි තිබෙන ඔය ළඟට ද පැමිණියේ ය.</verse>
				<verse number="12">සාරීද්හි සිට සීමාව නැගෙනහිරට හැරී කිස්ලොත්-තාබොර් දක්වා ගොස්, එතැනින් දාබෙරත්ට ද ජාපීයාට ද නැඟී ගියේ ය;</verse>
				<verse number="13">එතැනින් නැගෙනහිර දෙස ගත්-හේපෙර්ට ද එත්-කාශීන්ට ද පැමිණ, නෙයා දෙසට පිහිටා තිබෙන රිම්මොන් දක්වා විය.</verse>
				<verse number="14">සීමාව ඊට වටකරින් උතුරට හැරී හන්නාතොන්ට ගොස්, ඉප්තා-යෙල් මිටියාවත ළඟ කෙළවර වුණේ ය.</verse>
				<verse number="15">කට්ටාත් ද නහලාල් ද ෂිම්රොන් ද ඉදලා ද බෙත්ලෙහෙම් ද යනාදී නගර දොළොසක් ද ඒවා යාබද ගම් ද තිබුණේ ය.</verse>
				<verse number="16">සාබුලොන්ගේ පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ උරුමය මෙකී නගර සහ ඒවායේ ගම් ය.</verse>
				<verse number="17">සතර වන කොටස ඉස්සාකර්ට එනම්, ඉස්සාකර් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය.</verse>
				<verse number="18">ඔවුන්ගේ පළාතට ජෙශ්‍රෙයෙල් ද කෙසුල්ලොත් ද ෂුනෙම් ද</verse>
				<verse number="19">හපාරයිම් ද ෂියොන් ද අනාහරාත් ද</verse>
				<verse number="20">රබ්බිත් ද කිෂියොන් ද එබෙශ් ද</verse>
				<verse number="21">රෙමෙත් ද ඒන්-ගන්නීම් ද ඒන්-හද්දා ද බෙත්-පශේශ් ද දක්වා විය.</verse>
				<verse number="22">සීමාව තාබොර් ද ෂහශුමා ද බෙත්-ෂෙමෙෂ් ද දක්වා විය. ඔවුන්ගේ සීමාව ජොර්දාන ළඟ කෙළවර වුණේ ය. නගර දහසයක් ද ඒවා යාබද ගම් ද තිබුණේ ය.</verse>
				<verse number="23">ඉස්සාකර් පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මෙකී නගර සහ ඒවායේ ගම් ය.</verse>
				<verse number="24">පස් වන කොටස ආෂෙර් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය.</verse>
				<verse number="25">ඔවුන්ගේ සීමාව හෙල්කත් ද හලී ද බෙටෙන් ද අක්ෂාප් ද</verse>
				<verse number="26">අල්ලම්මෙලෙක් ද අමාද් ද මිෂාල් ද යන මේවා ය. බස්නාහිරට සීමාව කර්මෙල්ටත් ෂිහොර්-ලිබ්නාත්ටත් පැමිණියේ ය.</verse>
				<verse number="27">එතැනින් නැගෙනහිරට හැරී බෙත්-දාගොන්ට ගොස්, සාබුලොන්ටත් බෙත්-ඒමෙක්ට සහ නෙයියෙල්ට උතුරෙන් තිබෙන ඉප්තා-යෙල් මිටියාවතටත් පැමිණ, වමතට තිබෙන කාබුල් ද</verse>
				<verse number="28">ඒබ්‍රොන් ද රෙහොබ් ද හම්මොන් ද කානා ද මහ සීදොන් ද දක්වා විය.</verse>
				<verse number="29">එතැනින් සීමාව රාමාට හැරී, පවුරු ඇති නගර වූ තීර්ට පැමිණ, හෝස් දෙසට හැරී අක්ශිබ් පළාතේ පටන් ගොස් මධ්‍යධරණි මුහුද ළඟ කෙළවර වුණේ ය.</verse>
				<verse number="30">උම්මා ද අපෙක් ද රෙහොබ් ද අඩංගු ය: නගර විසිදෙකක් සහ ඒවා යාබද ගම් ද තිබුණේ ය.</verse>
				<verse number="31">ආෂෙර් පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මෙකී නගර සහ ඒවායේ ගම් ය.</verse>
				<verse number="32">සය වන කොටස නප්තලී පරපුරට එසේ ය, නප්තලීගේ පරපුරට, ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය.</verse>
				<verse number="33">ඔවුන්ගේ සීමාව හෙලෙප්හි සිට ශානන්නිම්හි තිබුණ ආලෝන වෘක්ෂය පටන් අදාමි-නෙගෙබ් ද ජබ්නෙයෙල් ද ලක්කුම් ද දක්වා ගොස්, ජොර්දාන ළඟ කෙළවර වුණේ ය.</verse>
				<verse number="34">එතැනින් සීමාව බස්නාහිරට හැරී අස්නොත්-තාබෝර් දෙසට ගොස්, එතැනින් හුකොක්ට පැමිණ, දකුණෙන් සාබුලොන් ද බස්නාහිරෙන් ආෂෙර් ද නැගෙනහිරෙන් ජොර්දානේ ජුදා ද දක්වා විය.</verse>
				<verse number="35">පවුරු සහිත නගර නම්: ශිද්දීම් ද ශේර් ද හම්මත් ද රක්කත් ද කින්නෙරොත් ද</verse>
				<verse number="36">අදාමා ද රාමා ද හාශොර් ද</verse>
				<verse number="37">කෙදෙෂ් ද එද්‍රෙයි ද ඒන්-හාශොර් ද</verse>
				<verse number="38">ඉරොන් ද මිග්දල්-යෙල් ද හොරෙම් ද බෙත්-අනාත් ද බෙත්-ෂෙමෙෂ් ද යන මේවා ය. නගර දහ නවයක් සහ ඒවායේ ගම් ද තිබුණේ ය.</verse>
				<verse number="39">නප්තලීගේ පවුල් ගණන අනුව ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මෙකී නගර සහ ඒවායේ ගම් ය.</verse>
				<verse number="40">සත් වන කොටස දාන් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය.</verse>
				<verse number="41">ඔවුන්ගේ උරුමයේ පළාත නම්, ශොරා ද එෂ්තායොල් ද ඊර්-ෂෙමෙෂ් ද</verse>
				<verse number="42">ෂාලබ්බින් ද ආයාලොන් ද ඉත්ලා ද</verse>
				<verse number="43">ඒලොන් ද තිම්නා ද එක්‍රොන් ද</verse>
				<verse number="44">එල්තෙකේ ද ගිබ්බෙතොන් ද බාලාත් ද ජෙහුද් ද</verse>
				<verse number="45">බෙනේ-බෙරක් ද ගත්-රිම්මොන් ද</verse>
				<verse number="46">මේ-ජර්කොන් ද ජොප්පාව ඉදිරිපිට තිබෙන පළාත ඇතුළු ව රක්කොන් ද යන මේවා ය.</verse>
				<verse number="47">දාන් පරපුරේ පළාත ඔවුන්ට අහිමි වූ නිසා, ඔව්හු ගොස් ලෙෂෙම්ට විරුද්ධ ව යුද්ධ කොට ඒවා අල්ලාගෙන, ඊට කඩුවෙන් පහර දී එය හිමි කරගෙන, එහි වාසය කොට, ඔවුන්ගේ පිය වූ දාන්ගේ නම ප්‍රකාර ලෙෂෙම්ට දාන් යන නම තැබුවෝ ය.</verse>
				<verse number="48">දාන් පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මෙකී නගර සහ ඒවායේ ගම් ය.</verse>
				<verse number="49">මෙසේ උරුම පිණිස සීමා වශයෙන් දේශය බෙදා දී නිම කොට ඉශ්රායෙල් ජනයා නූන්ගේ පුත් ජෝෂුවාට තමන් අතරෙහි උරුමයක් දුන්නෝ ය.</verse>
				<verse number="50">ඔහු ඉල්ලූ නුවර වන එප්‍රායිම් කඳු රටෙහි තිබෙන තිම්නාත්-සෙරා ඔව්හු සමිඳාණන් වහන්සේගේ ආඥාව ප්‍රකාර ඔහුට දුන්නෝ ය. ඔහු ඒ නුවර ගොඩනඟා එහි වාසය කෙළේ ය.</verse>
				<verse number="51">පූජක එලෙයාසර් ද නූන්ගේ පුත් ජෝෂුවා ද ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල පිය පෙළපත් ප්‍රජා මූලිකයන් ද ෂිලෝහි දී සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි බෙදා දුන් උරුම මේවා ය. මෙසේ ඔව්හු දේශය බෙදා නිම කළෝ ය.</verse>
			</chapter>
			<chapter number="20">
				<verse number="1">සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට,</verse>
				<verse number="2">“ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “මෝසෙස් ලවා මා නුඹලාට ප්‍රකාශ කළ පරිදි අභය භූමි නගර තෝරාගන්න.</verse>
				<verse number="3">යම් මිනිසෙකු අදහස් නොකර හෝ වැරදීමකින් හෝ යමෙකු මැරුවොත් ඔහුට ඒ අභය භූමියට ගොස් පළිගන්නට සොයන්නාගෙන් ආරක්ෂා විය හැකි ය.</verse>
				<verse number="4">ඔහු ඒ නගරවලින් එකකට පලා ගොස් නගර දොරකඩ සිට ඒ නගරයේ ප්‍රජා මූලිකයන් ඉදිරියෙහි සිදු වූ කාරණය කියා සිටින්නේ ය. ඔවුන් ඔහු නගරයට පිළිගෙන තමන් සමඟ වාසය කරන පිණිස ඔහුට ස්ථානයක් දිය යුතු ය.</verse>
				<verse number="5">මැරීම ගැන පළිගන්නට සොයන මිනිසා ඔහු ලුහුබැඳ ආවොත්, ඔහු අතට මිනී මැරූ තැනැත්තා පාවා නොදිය යුතු ය. මන්ද, ඔහු තමාගේ අසල්වැසියා මැරුවේ පෙර තිබූ වෛරයක් නිසා නොව අත්වැරැද්දක් නිසා ය.</verse>
				<verse number="6">ඔහු විනිශ්චය පිණිස සභාව ඉදිරියෙහි සිටින තුරු ද එවකට සිටින උත්තම පූජකයා නසින තුරු ද ඒ නගරයේ වසන්නේ ය. ඉන්පසු මිනී මැරූ තැනැත්තාට තමා අත්හැර ගිය තමාගේ නගරයටත්, තමාගේ ම ගෙදරටත් හැරී යා හැකි ය.</verse>
				<verse number="7">මෙසේ ඔව්හු නප්තලී කඳු රටේ තිබෙන ගලීලයෙහි කෙදෙෂ් ද එප්‍රායිම් කඳු රටේ ෂෙකෙම් ද ජුදා කඳු රටේ හෙබ්‍රොන් වන කිරියත්-අර්බා ද වෙන් කොට තැබුවෝ ය.</verse>
				<verse number="8">ජෙරිකෝවට නැගෙනහිරෙන් ජොර්දානෙන් එගොඩ රූබන් ගෝත්‍රයෙන් උස් සමභූමියේ පාළුකරයේ තිබෙන බෙශෙර් ද ගාද් ගෝත්‍රයෙන් ගිලියද්හි තිබෙන රාමොත් ද මනස්සේ ගෝත්‍රයෙන් බාෂාන්හි තිබෙන ගෝලාන් ද ඔව්හු වෙන් කොට තැබුවෝ ය.</verse>
				<verse number="9">වැරදීමකින් මිනී මරන කවුරු නමුත්, සභාව ඉදිරියෙහි පෙනී සිටින්නට ප්‍රථම මිනී මැරීම ගැන පළිගන්නට සොයන්නාගේ අතින් මැරුම් නොකනු පිණිස පලා ගොස් සිටීමට සියලු ඉශ්රායෙල් සෙනඟ ද ඔවුන් අතරේ සිටින විදේශිකයන් ද උදෙසා නියම කරන ලද අභය භූමි නගර මේවා ය.</verse>
			</chapter>
			<chapter number="21">
				<verse number="1">එවිට ලෙවීවරුන්ගේ පවුල්වල ප්‍රධානීහු එලෙයාසර් නම් පූජකයා ද නූන්ගේ පුත් ජෝෂුවා ද ඉශ්රායෙල් ගෝත්‍රයන්ගේ පවුල්වල ප්‍රධානීන් ද වෙත පැමිණ,</verse>
				<verse number="2">කානාන් දේශයෙහි ෂිලෝහි දී ඔවුන්ට කතා කොට, “වාසය කිරීමට නගර ද අපේ සිවුපාවුන්ට ඒ නගර අවට තණ බිම් ද දෙන්නට කියා සමිඳාණන් වහන්සේ මෝසෙස් ලවා ආඥා කෙරෙවූ සේකැ”යි කීවෝ ය.</verse>
				<verse number="3">ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේගේ ආඥා ලෙස තමන්ගේ උරුමයෙන් මෙකී නගර ද ඒවා අවට තණ බිම් ද ලෙවීවරුන්ට දුන්නෝ ය.</verse>
				<verse number="4">පස ඇට දැමීමෙන් කොහාත්වරුන්ගේ ගෝත්‍රවලට නගර නියම කරන ලදී. පූජක ආරොන්ගෙන් පැවත ආ ලෙවීවරුන්ට ජුදා ගෝත්‍රයෙන් ද සිමියොන් ගෝත්‍රයෙන් ද බෙන්ජමින් ගෝත්‍රයෙන් ද නගර දහතුනක් පස ඇට දැමීමෙන් ලැබුණේ ය.</verse>
				<verse number="5">කොහාත්වරුන්ගේ සෙසු ගෝත්‍රවලට එප්‍රායිම් ගෝත්‍රයෙන් ද දාන් ගෝත්‍රයෙන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ද නගර දහයක් පස ඇට දැමීමෙන් ලැබුණේ ය.</verse>
				<verse number="6">ගේර්ෂොන්වරුන්ගේ ගෝත්‍රවලට ඉස්සාකර් ගෝත්‍රයෙන් ද ආෂෙර් ගෝත්‍රයෙන් ද නප්තලී ගෝත්‍රයෙන් ද බාෂාන්හි මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ද නගර දහතුනක් පස ඇට දැමීමෙන් ලැබුණේ ය.</verse>
				<verse number="7">මෙරාරීවරුන්ගේ ගෝත්‍රවලට රූබන් ගෝත්‍රයෙන් ද ගාද් ගෝත්‍රයෙන් ද සාබුලොන් ගෝත්‍රයෙන් ද නගර දොළොසක් ලැබුණේ ය.</verse>
				<verse number="8">ඒ නගර සහ ඒවා අවට තණ බිම් ඉශ්රායෙල් ජනයා, සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් අණ කළ ලෙස, පස ඇට දැමීමෙන් ලෙවීවරුන්ට දුන්නෝ ය.</verse>
				<verse number="9">ජුදා ගෝත්‍රයෙන් ද සිමියොන් ගෝත්‍රයෙන් ද මෙහි නම් සඳහන් කරන නගර දෙනු ලැබුවේ</verse>
				<verse number="10">ලෙවී ගෝත්‍රයේ වූ කොහාත්වරුන්ගේ පවුල්වලට අයිති ආරොන්ගේ පුත්‍රයන්ට ය. මන්ද, පළමු වන පස ඇට ලැබුණේ ඔවුන්ට ය.</verse>
				<verse number="11">ජුදා කඳු රටේ තිබෙන හෙබ්‍රොන් නම් කිරියත්-අර්බා ද ඒ අවට තිබෙන තණ බිම් ද ඔවුන්ට දෙන ලදී. අර්බා වනාහි ආනාක්ගේ පියා ය.</verse>
				<verse number="12">එහෙත්, නගරයේ කෙත් ද එහි ගම් ද ජෙපුන්නේගේ පුත් කාලෙබ්ට දී තිබුණේ ය.</verse>
				<verse number="13">ඉශ්රායෙල්වරු පූජක ආරොන්ගේ පුත්‍රයන්ට, මිනී මරන අයට අභය භූමි නගරයක් වූ හෙබ්‍රොන් හා ඒ අවට තණ බිම් ද ලිබ්නා සහ ඒ අවට තණ බිම් ද</verse>
				<verse number="14">ජත්තීර් සහ ඒ අවට තණ බිම් ද එෂ්තෙමෝවා සහ ඒ අවට තණ බිම් ද</verse>
				<verse number="15">හෝලොන් සහ ඒ අවට තණ බිම් ද දෙබීර් සහ ඒ අවට තණ බිම් ද</verse>
				<verse number="16">අයින් සහ ඒ අවට තණ බිම් ද ජුතා සහ ඒ අවට තණ බිම් ද බෙත්-ෂෙමෙෂ් සහ ඒ අවට තණ බිම් ද යන ඒ නගර නවය ඒ ගෝත්‍ර දෙකෙන් දුන්නෝ ය.</verse>
				<verse number="17">බෙන්ජමින් ගෝත්‍රයෙන් ගිබියොන් සහ ඒ අවට තණ බිම් ද ගෙබා සහ ඒ අවට තණ බිම් ද</verse>
				<verse number="18">අනාතොත් සහ ඒ අවට තණ බිම් ද අල්මොන් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතරත් දුන්නෝ ය.</verse>
				<verse number="19">පූජක ආරොන්ගේ පුත්‍රයන්ගේ සියලු නගර සහ ඒ අවට තණ බිම් ඇතුළු ව නගර දහතුනක් ය.</verse>
				<verse number="20">ලෙවීවරුන් වන කොහාත්ගේ සෙසු ගෝත්‍රයන්ගේ පවුල්වලට ඔවුන්ගේ කොටසේ නගර එප්‍රායිම් ගෝත්‍රයෙන් ලැබුණේ ය.</verse>
				<verse number="21">මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නගරයක් වූ ෂෙකෙම් සහ ඒ අවට තණ බිම් ද ගෙශෙර් සහ ඒ අවට තණ බිම් ද</verse>
				<verse number="22">කිබ්ශයිම් සහ ඒ අවට තණ බිම් ද බෙත්-හෝරොන් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතර ඔවුන්ට දුන්නෝ ය.</verse>
				<verse number="23">දාන් ගෝත්‍රයෙන් එල්තෙකේ සහ ඒ අවට තණ බිම් ද ගිබ්බෙතොන් සහ ඒ අවට තණ බිම් ද</verse>
				<verse number="24">අයාලෝන් සහ ඒ අවට තණ බිම් ද ගැත්-රිම්මොන් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතරත් දුන්නෝ ය.</verse>
				<verse number="25">මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් තයනාක් සහ ඒ අවට තණ බිම් ද ගැත්-රිම්මොන් සහ ඒ අවට තණ බිම් ද වන නගර දෙක දුන්නෝ ය.</verse>
				<verse number="26">කොහාත්ගේ අනික් ගෝත්‍රයන්ගේ පවුල්වලට ලැබුණ සියලු නගර වනාහි ඒ අවට තණ බිම් ද ඇතුළු ව නගර දහසයක් ය.</verse>
				<verse number="27">ලෙවීවරුන්ගේ ගෝත්‍රයට අයිති ගේර්ෂොන්ගේ ගෝත්‍රයට මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් දුන්නේ, මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නගරයක් වූ බාෂාන්හි තිබෙන ගෝලාන් සහ ඒ අවට තණ බිම් ද බෙ-ජෙෂ්තෙරා සහ ඒ අවට තණ බිම් ද යන නගර දෙක ය.</verse>
				<verse number="28">ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් කිෂියොන් සහ ඒ අවට තණ බිම් ද දාබෙරත් සහ ඒ අවට තණ බිම් ද</verse>
				<verse number="29">ජර්මුත් සහ ඒ අවට තණ බිම් ද ඒන්-ගන්නීම් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතරත් දුන්නෝ ය.</verse>
				<verse number="30">ආෂෙර්ගේ ගෝත්‍රයෙන් මිෂාල් සහ ඒ අවට තණ බිම් ද අබ්දොන් සහ ඒ අවට තණ බිම් ද</verse>
				<verse number="31">හෙල්කත් සහ ඒ අවට තණ බිම් ද රෙහොබ් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතරත් දුන්නෝ ය.</verse>
				<verse number="32">නප්තලීගේ ගෝත්‍රයෙන් මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නුවරක් වූ ගලීලයෙහි තිබෙන කෙදෙෂ් සහ ඒ අවට තණ බිම් ද හම්මොත්-දෝර් සහ ඒ අවට තණ බිම් ද කර්තාන් සහ ඒ අවට තණ බිම් ද යන නගර තුනත් දුන්නෝ ය.</verse>
				<verse number="33">ගේර්ෂොන්වරුන්ට ඔවුන්ගේ පවුල් ගණන අනුව ලැබුණ සියලු නගර සහ ඒ අවට තණ බිම් ද ඇතුළු ව නගර දහතුනක් ය.</verse>
				<verse number="34">අනික් ලෙවීවරුන් වන මෙරාරීගේ ගෝත්‍රයන්ගේ පවුල්වලට සාබුලොන් ගෝත්‍රයෙන් ජොක්නෙයාම් සහ ඒ අවට තණ බිම් ද</verse>
				<verse number="35">දීම්නා සහ ඒ අවට තණ බිම් ද නහලාල් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතර දුන්නෝ ය.</verse>
				<verse number="36">රූබන් ගෝත්‍රයෙන් බෙශෙර් සහ ඒ අවට තණ බිම් ද ජාහශ් සහ ඒ අවට තණ බිම් ද</verse>
				<verse number="37">කෙදෙමොත් සහ ඒ අවට තණ බිම් ද මේපාත් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතරත් දුන්නෝ ය.</verse>
				<verse number="38">ගාද්ගේ ගෝත්‍රයෙන් මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නගරයක් වූ ගිලියද්හි තිබෙන රාමොත් සහ ඒ අවට තණ බිම් ද මහනයිම් සහ ඒ අවට තණ බිම් ද</verse>
				<verse number="39">හෙෂ්බොන් සහ ඒ අවට තණ බිම් ද ජාශර් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතරත් දුන්නෝ ය.</verse>
				<verse number="40">මේ සියල්ල ලෙවීවරුන්ගේ අනික් පවුල් වන මෙරාරීගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල් ගණන අනුව ලැබුණ නගර ය. ඔවුන්ගේ කොටස නගර දොළොසක් ය.</verse>
				<verse number="41">ඉශ්රායෙල් වංශයේ උරුමය තුළ තිබුණ ලෙවීවරුන්ගේ සියලු නගර වනාහි ඒවායේ තණ බිම් ඇතුළු ව නගර සතළිස්අටක් ය.</verse>
				<verse number="42">මේ නගරවලින් එක එක නුවර වට කර තණ බිම් තිබුණේ ය. ඒ සියලු නගර එකාකාර ව තිබුණේ ය.</verse>
				<verse number="43">මෙසේ ඉශ්රායෙල්වරුන්ගේ පියවරුන්ට දෙන ලෙස සමිඳාණන් වහන්සේ දිවුළ මුළු දේශය උන් වහන්සේ ඔවුන්ට දුන් සේක. ඔව්හු එය හිමි කරගෙන එහි විසුවෝ ය.</verse>
				<verse number="44">සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුළ සියල්ල ලෙස හාත්පසින් උන් වහන්සේ ඔවුන්ට රට පුරා සාමය දුන් සේක. ඔවුන්ගේ සියලු සතුරන්ගෙන් කිසිවෙකුට ඔවුන්ට විරුද්ධ ව සිටින්නට නොහැකි විය. සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ සියලු සතුරන් ඔවුන් අතට පාවා දුන් සේක.</verse>
				<verse number="45">සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් වංශයට දුන් යහපත් පොරොන්දු එකක් වත් කඩ නො වී ය; සියල්ල ම ඉෂ්ට වුණේ ය.</verse>
			</chapter>
			<chapter number="22">
				<verse number="1">ජෝෂුවා රූබන්වරුන් ද ගාද්වරුන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රය ද කැඳවා</verse>
				<verse number="2">ඔවුන්ට මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේගේ සේවක වූ මෝසෙස් ඔබ හැමට අණ කළ සියල්ල ඔබ පිළිපැද්දහු ය; මා ඔබට අණ කළ සියල්ලට ඔබ කීකරු වූවහු ය.</verse>
				<verse number="3">ඔබ අද දවස දක්වා මෙපමණ දීර්ඝ කාලයක් තුළ ඔබේ සහෝදරයන් අත්නෑර සිට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥාවේ බාරය රක්ෂා කළහු ය.</verse>
				<verse number="4">දැන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ සහෝදරයන්ට වදාළ ප්‍රකාරයට විවේක සුවය දී ඇත. දැන් ඉතින් ඔබ හැරී සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් විසින් ජොර්දානෙන් එගොඩ ඔබට දෙන ලද උරුම දේශයෙහි ඔබේ නිවාසවලට යන්න.</verse>
				<verse number="5">සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් ඔබට අණ කළ අණපණත් හා ව්‍යවස්ථාව මැනවින් පවත්වන්නට ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කොට, උන් වහන්සේගේ සියලු මාර්ගවල ගමන් කරන්නට ද උන් වහන්සේගේ ආඥා පවත්වන්නට ද උන් වහන්සේට ඇළුම් ව සිට ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ආත්මයෙන් ද උන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නට ද වගබලාගන්න.”</verse>
				<verse number="6">මෙසේ කියා ජෝෂුවා ඔවුන්ට ආශීර්වාද කොට ඔවුන්ට යන්නට අවසර දුන්නේ ය. ඔව්හු ද තමන්ගේ නිවාසවලට ගියෝ ය.</verse>
				<verse number="7">මනස්සේගේ ගෝත්‍රයෙන් අර්ධයකට මෝසෙස් බාෂාන්හි ප්‍රදේශයක් දී තිබුණේ ය. අනික් අර්ධයට ඔවුන්ගේ සහෝදරයන් අතරෙහි බස්නාහිරට ජොර්දාන් ගඟෙන් මෙගොඩ ප්‍රදේශයක් ජෝෂුවා දුන්නේ ය. තවද, ජෝෂුවා ඔවුන්ගේ, නිවාසවලට ඔවුන් යවන කල ඔවුන්ට ආශීර්වාද කරමින්,</verse>
				<verse number="8">“ඔබ බොහෝ ධනය ද සිවුපාවුන් ඉතා මහා ගණනක් ද රිදී ද රන් ද ලෝකඩ ද යකඩ ද බොහෝ වස්ත්‍ර ද ඇති ව ඔබේ නිවාසවලට ගොස්, ඔබේ සතුරන්ගෙන් ගත් කොල්ලය ඔබේ සහෝදරයන් සමඟ බෙදා ගන්නැ”යි ඔවුන්ට කීවේ ය.</verse>
				<verse number="9">එවිට රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද සමිඳාණන් වහන්සේ මෝසෙස් ලවා අණ කළ ලෙස තමන් ලබාගෙන සිටි තමන්ගේ උරුම දේශය වන ගිලියද් දේශයට යන පිණිස කානාන් දේශයේ තිබෙන ෂිලෝහි සිට ඉශ්රායෙල් සෙනඟ කෙරෙන් වෙන් වී පිටත් ව ගියෝ ය.</verse>
				<verse number="10">කානාන් දේශයේ තිබෙන ජොර්දාන් ගඟ අසබඩ පළාතට ඔවුන් පැමිණිවිට රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද මනා පෙනුමක් ඇති විශාල පූජාසනයක් ගොඩනැඟුවහු ය.</verse>
				<verse number="11">එවිට, රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද කානාන් දේශයේ ඉදිරිපිට ඉශ්රායෙල් සෙනඟ වාසය කළ පැත්තෙහි ජොර්දාන් ගඟ අසබඩ පළාතේ පූජාසනයක් ගොඩනඟා තිබේ යයි ඉශ්රායෙල් සෙනඟට ආරංචි විය.</verse>
				<verse number="12">ඉශ්රායෙල් සෙනඟ ඒ බව ඇසූ කල ඔවුන්ට විරුද්ධ ව යුද්ධයට යන පිණිස මුළු ඉශ්රායෙල් ජනතාව ෂිලෝහි රැස් වුණෝ ය.</verse>
				<verse number="13">ඉශ්රායෙල් ජනයා ගිලියද් දේශයේ සිටි රූබන් ගෝත්‍රයේ සෙනඟ ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද වෙත එලෙයාසර්ගේ පුත් පිනෙහාස් ද</verse>
				<verse number="14">ඔවුන් සමඟ සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් එක එක ගෝත්‍රයේ අධිපති ව සිටි අධිපතීන් දසදෙනෙකු ද යැවුවෝ ය. ඔව්හු එකිනෙකා ඉශ්රායෙල් ගෝත්‍ර අතරෙහි තම තමන්ගේ පිය පෙළපත්වලට ප්‍රධානියන් ව සිටියෝ ය.</verse>
				<verse number="15">ඔව්හු අවුත් ගිලියද් දේශයෙහි රූබන්ගේ ගෝත්‍රයේ සෙනඟට ද ගාද් ගෝත්‍රයේ සෙනඟට ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟට ද මෙසේ කී හ:</verse>
				<verse number="16">“සමිඳාණන් වහන්සේගේ මුළු සෙනඟ මෙසේ කියති, ‘ඔබ අද දවසේ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගසමින් පූජාසනයක් ගොඩනඟා ගැනීමෙන් අද ඔබ සමිඳාණන් වහන්සේ වෙතින් වෙන් වී ගොස් ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට විරුද්ධ ව කළ මේ අපරාධය කුමක් ද?</verse>
				<verse number="17">පෙයොර්හි දී කරන ලද අපරාධය මතක නැද් ද? සමිඳාණන් වහන්සේගේ සෙනඟ පිටට වසංගතයක් පැමිණි හැටි සිහි කරන්න. ඒ අපරාධයෙන් අප තවමත් නිදහස් වී නැත.</verse>
				<verse number="18">එහෙත්, ඔබ අද සමිඳාණන් වහන්සේ වෙතින් අහක් ව යන්නහු ද? මෙසේ ඔබ අද සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගසන හෙයින් හෙට උන් වහන්සේ මුළු ඉශ්රායෙල් සෙනඟ කෙරෙහි උදහස් වනු ඇත.</verse>
				<verse number="19">ඔබේ උරුම දේශය අපවිත්‍ර නම්, සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය පිහිටා තිබෙන උන් වහන්සේගේ උරුම දේශයට එතෙර වී අවුත් අප අතරේ ප්‍රදේශයක් ලබාගන්න. අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය හැර, ඔබට වෙන පූජාසනයක් ගොඩනැඟීමෙන් සමිඳාණන් වහන්සේටත්, අපටත් විරුද්ධ ව කැරලි නොගසන්න.</verse>
				<verse number="20">ශෙරාගේ පුත් ආකාන් කැප වූ දෙය සම්බන්ධ අපරාධය කළ නිසා මුළු ඉශ්රායෙල් සෙනඟ පිටට උදහස පැමිණියේ නැද් ද? ඒ මිනිසාගේ අපරාධය නිසා විනාශයට පත් වුණේ ඔහු පමණක් නොවේ.’ “</verse>
				<verse number="21">රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ සෙනඟ ද ඉශ්රායෙල්වරුන්ගේ පවුල්වල පිය පෙළපත් ප්‍රධානීන්ට මෙසේ පිළිතුරු දුන්නෝ ය:</verse>
				<verse number="22">“දේවාතිදේව සමිඳාණන් වහන්ස, දේවාතිදේව සමිඳාණන් වහන්ස, උන් වහන්සේ ම දන්නා සේක. ඉශ්රායෙල් ජනයා ද දැනගත යුතු ය. අපි කැරලි ගසා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් කෙළෙමු නම්, අද අප ඉතිරි නොකළ මැනව.</verse>
				<verse number="23">අප උන් වහන්සේට අකීකරු වී දවන යාග පූජා හෝ ධාන්‍ය පූජා හෝ සහභාගිකමේ පූජා හෝ ඔප්පු කරන පිණිස ඒ පූජාසනය තැනුවා නම්, සමිඳාණන් වහන්සේ ම අපට දඬුවම් කරන සේක් වා!</verse>
				<verse number="24">අප එසේ කෙළේ බියෙනි. එනම්, මතු කාලයක දී ඔබේ දරු පරපුර අපේ දරු පරපුරට කතා කොට, ‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබේ ඇති සම්බන්ධකම කිමෙක් ද, කියාත්,</verse>
				<verse number="25">රූබන් දරුවෙනි! ගාද් දරුවෙනි! ඔබත් අපත් අතරේ සමිඳාණන් වහන්සේ ජොර්දාන් ගඟ සීමා කොට තබා තිබෙන නිසා සමිඳාණන් වහන්සේ සමඟ ඔබට කිසි සම්බන්ධකමක් නැතැ’යි කියාත්, උන් වහන්සේට නමස්කාර කිරීමෙන් ඔබේ දරු පරපුර අපේ දරු පරපුර වළක්වනු ඇතැ යි යන බියෙනි.</verse>
				<verse number="26">එබැවින් අපට පූජාසනයක් ගොඩනැඟීමට, ‘අපි සූදානම් වෙමු’යි අප කියා ගත්තේ දවන යාග පූජා වත් යාග පඬුරු වත් ඔප්පු කිරීමට නොව,</verse>
				<verse number="27">අපේ දවන යාග පූජාවලිනුත්, අපේ යාග පඬුරුවලිනුත්, සහභාගිකමේ පූජාවලිනුත් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් උන් වහන්සේ ඉදිරියෙහි ඉටු කිරීම යුතු බවට, අප සහ ඔබ ද අපට පසුව අපේ දරු පරපුර ද අතරේ එය සාක්ෂියක් වන පිණිසත්, සමිඳාණන් වහන්සේ සමඟ ඔබට සම්බන්ධකමක් නැතැ යි මතු කාලයේ ඔබේ දරු පරපුර විසින් අපේ දරු පරපුරට වත් කියනු නොලබන පිණිසත් ය.</verse>
				<verse number="28">එහෙයින් ඔවුන් අපට වත්, අපේ දරු පරපුරට වත් මතු කාලයේ එසේ කීවොත්, ‘දවන යාග පූජා හෝ යාග පඬුරු හෝ ඔප්පු කිරීමට නොව අප සමඟ හා ඔබ සමඟ සාක්ෂියක් වන පිණිස අපේ පියවරුන් තැනූ සමිඳාණන් වහන්සේගේ පූජාසනයේ ආදර්ශය බලන්න’ කියා අපට කියන්නට පුළුවන් යයි අපි සිතුවෙමු.</verse>
				<verse number="29">අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි තිබෙන උන් වහන්සේගේ පූජාසනය හැර, දවන යාග පූජා හෝ ධාන්‍ය පූජා හෝ යාග පඬුරු හෝ ඔප්පු කිරීමට වෙන පූජාසනයක් ගොඩනැඟීමෙන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගසා අද උන් වහන්සේ වෙතින් අහක් ව යාම කිසිසේත් අපේ අදහස නො වී ය.”</verse>
				<verse number="30">එවිට රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ ගෝත්‍රයේ සෙනඟ ද විසින් කියන ලද වචන පූජක වූ පිනෙහාස් ද ඔහු සමඟ සිටි ඉශ්රායෙල් ගෝත්‍රවල පෙළපත් ප්‍රධානීන් ද ඇසූ කල ඔව්හු ඊට බොහෝ සේ සතුටු වූ හ.</verse>
				<verse number="31">පූජක එලෙයාසර්ගේ පුත් පිනෙහාස් රූබන්වරුන්ටත්, ගාද්වරුන්ටත්, මනස්සේවරුන්ටත් කතා කොට, “ඔබ හැම සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් නොකළ නිසා සමිඳාණන් වහන්සේ අප සමඟ වැඩවසන බව අපි අද දැනගතිමු. මෙසේ ඔබ ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේගේ අතින් බේරාගත්තහු ය”යි කීවේ ය.</verse>
				<verse number="32">එවිට පූජක එලෙයාසර්ගේ පුත් පිනෙහාස් ද අධිපතීහු ද රූබන්වරුන් හා ගාද්වරුන් කෙරෙන් ගිලියද් දේශයේ සිට කානාන් දේශයෙහි ඉශ්රායෙල් සෙනඟ වෙත හැරී අවුත් ඔවුන්ට ඒ පුවත සැළ කළෝ ය.</verse>
				<verse number="33">ඒ පුවත ගැන ඉශ්රායෙල්වරු සතුටු වූ හ. එබැවින්, රූබන්වරුන් ද ගාද්වරුන් ද වාසය කළ දේශය විනාශ කරන පිණිස ඔවුන්ට විරුද්ධ ව යුද්ධයට යාම ගැන ඉශ්රායෙල් සෙනඟ තවත් කතා නොකොට දෙවියන් වහන්සේට ප්‍රශංසා කළෝ ය.</verse>
				<verse number="34">රූබන්වරු ද ගාද්වරු ද ‘සමිඳාණන් වහන්සේ දෙවියන් වහන්සේ බවට එය අප අතර සාක්ෂියක් වන්නේ ය’ කියා ඒ පූජාසනයට ඒද් හෙවත් සාක්ෂිය යන නාමය තැබූ හ.</verse>
			</chapter>
			<chapter number="23">
				<verse number="1">සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් වට කර සිටි ඔවුන්ගේ සියලු සතුරන්ගෙන් ඔවුන්ට ආරක්ෂාව දී බොහෝ කලක් ගත වූ පසු, ජෝෂුවා මහලු ව, වයෝවෘද්ධ ව සිටියේ ය.</verse>
				<verse number="2">ඔහු සියලු ඉශ්රායෙල්වරුන් එනම්, ඔවුන්ගේ ප්‍රජා මූලිකයන් ද ප්‍රධානීන් ද විනිශ්චයකාරයන් ද නිලධාරීන් ද කැඳවා, ඔවුන්ට මෙසේ කීවේ ය: “මම මහලු ව, වයෝවෘද්ධ ව සිටිමි.</verse>
				<verse number="3">ඔබ හැමගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ උදෙසා මේ සියලු විජාතීන්ට කළ සියල්ල ඔබ දුටුවහු ය; ඔබ උදෙසා යුද්ධ කෙළේ, ඔබ හැමගේ දෙවි සමිඳාණන් වහන්සේ ම ය.</verse>
				<verse number="4">ඉතිරි වී සිටින විජාතීන්ගේ ද මා විසින් සිඳ දමනු ලැබූ සියලු විජාතීන්ගේ ද දේශය, ජොර්දාන් ගඟ පටන් බස්නාහිර මධ්‍යධරණි මුහුද දක්වා ඔබේ ගෝත්‍රවලට උරුමයක් කොට පස ඇට දමා මම ඔබට බෙදා දුනිමි.</verse>
				<verse number="5">ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ම ඔබ ඉදිරියෙන් ඔවුන් එළවාදමා ඔබ ඉදිරියෙන් ඔවුන් පන්නාදමනු ඇත. ඔබ හැම ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ පොරොන්දු වූ හැටියට ඔවුන්ගේ දේශය හිමි කර ගනු ඇත.</verse>
				<verse number="6">එබැවින්, මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ ලියා තිබෙන සියල්ල අකුරට ම පිළිපැදීමට තරයේ ම අධිෂ්ඨාන කරගන්න.</verse>
				<verse number="7">එසේ කර ඔබ අතරේ ඉතිරි ව සිටින මේ ජාතීන් සමඟ නොගැවසී, ඔවුන්ගේ දෙවිවරුන්ගේ නම් සඳහන් නොකර, ඔවුන්ගේ නාමයෙන් නොදිවුරා, ඔවුන්ට වැඳුම්පිදුම් හා නමස්කාර නොකරන්නට වග බලාගන්න.</verse>
				<verse number="8">ඔබ මේ දක්වා කර ඇති පරිදි ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ම විශ්වාසවන්ත ව සිටින්න.</verse>
				<verse number="9">මන්ද, සමිඳාණන් වහන්සේ ඉතා විශාල වූ විජාතීන් ඔබ ඉදිරියෙන් පන්නාදැමූ සේක. ඒ නිසා ඔබට විරුද්ධ ව සිටින්නට අද දවස දක්වා කිසිවෙකුට පුළුවන් වුණේ නැත.</verse>
				<verse number="10">ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි ඔබ උදෙසා යුද්ධ කරන්නේ උන් වහන්සේ ය; එබැවින් ඔබෙන් එක් කෙනෙක් දහසක්දෙනා පන්නා දමන්නේ ය.</verse>
				<verse number="11">එහෙයින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කරන්නට තරයේ ම අධිෂ්ඨාන කරගන්න.</verse>
				<verse number="12">ඔබ යම් හෙයකින් ඒ අධිෂ්ඨානය නොසලකා, ඔබ සමඟ ඉතිරි ව සිටින මේ විජාතීන්ට ඇලුම් වී, ඔවුන් සමඟ විවාහ වෙමින්, ඔබ ඔවුන් අතරෙහි ද ඔවුන් ඔබ අතරෙහි ද ගැවසුණොත්,</verse>
				<verse number="13">ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ ඉදිරියෙන් මේ ජාතීන් මින්පසු පන්නා නොදමන බවත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් ඔබ විනාශ වී යන තුරු, ඔවුන් ඔබට මලපතක් ද උගුලක් ද ඔබේ ඇළපත්වලට පහර දෙන කසයක් ද ඔබේ ඇස්වලට කටු ද මෙන් වන බවත් සහතික ලෙස දැනගන්න.</verse>
				<verse number="14">“බලන්න, දැන් මුළු ලොවේ හැම මිනිසෙකුට ම සිදු වන්නට යන දේ මටත් සිදු වනු ඇත. ඔබ හැමගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ සියලු යහපත් දේවලින් එක දෙයක් වත් අතපසු නුවූ බව ඔබේ මුළු හෘදයෙන් ද ආත්මයෙන් ද දන්නහු ය. එක පොරොන්දුවක් වත් නොකැඩී සියල්ල ම ඔබට ඉෂ්ට වුණේ ය.</verse>
				<verse number="15">තවද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කළ සියලු පොරොන්දු ඔබට ඉෂ්ට කර දුන්නාක් මෙන් ම, ඔබට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් ඔබ විනාශ වී යන තුරු සියලු නපුරු දේ ඔබ පිටට පමුණුවන්නට උන් වහන්සේට පුළුවන.</verse>
				<verse number="16">ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ උන් වහන්සේගේ ගිවිසුම ඔබ කඩ කළහොත්, අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කර ඔවුන්ට නමස්කාර කළහොත්, උන් වහන්සේගේ උදහස ඔබට විරුද්ධ ව ඇවිළී ඔබට දී තිබෙන යහපත් දේශය මතුපිටින් ඔබ විගසින් නැති කරදමනු ඇත.”</verse>
			</chapter>
			<chapter number="24">
				<verse number="1">ඉන්පසු ජෝෂුවා සියලු ඉශ්රායෙල් ගෝත්‍රයන් ෂෙකෙම්ට රැස් කරවා, ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් ද ප්‍රධානීන් ද විනිශ්චයකාරයන් ද නිලධාරීන් ද කැඳවී ය. ඔව්හු දෙවියන් වහන්සේ ඉදිරියෙහි පෙනී සිටියෝ ය.</verse>
				<verse number="2">ජෝෂුවා මුළු සෙනඟට මෙසේ කීවේ ය: “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘යටගිය දවස ආබ්‍රහම්ගේ ද නාහෝර්ගේ ද පිය වූ තේරා වැනි, නුඹලාගේ පියවරු යුප්‍රටීස් ගඟෙන් එතෙර වාසය කරමින් අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කළෝ ය.</verse>
				<verse number="3">මම ඒ ගංගාව එතෙරින් නුඹලාගේ පිය වූ ආබ්‍රහම් කැඳවාගෙන කානාන් දේශය මුළුල්ලෙහි ගෙන ගොස්, ඔහුගේ වංශය වැඩි කෙළෙමි. මම ඔහුට ඊසාක් දුනිමි.</verse>
				<verse number="4">ඊසාක්ට ජාකොබ් ද ඒසව් ද දුනිමි. ඒසව්ට සේයිර් කඳුකරය උරුමයක් කොට දුනිමි. ජාකොබ් ද ඔහුගේ පුත්‍රයෝ ද මිසරයට ගියෝ ය.</verse>
				<verse number="5">මම මෝසෙස් සහ ආරොන් යවමින් මිසර දේශය පිට වසංගත පැමිණෙව්වෙමි. නුඹලා ඒ ගැන හොඳාකාර ව දන්නහු ය. ඉන්පසු නුඹලා මිසර දේශයෙන් පිටතට ගෙනාවෙමි.</verse>
				<verse number="6">මා නුඹලාගේ පියවරුන් මිසර දේශයෙන් පිටතට ගෙනා විට නුඹලා රතු මුහුද දක්වා ආවහු ය. මිසරවරු රථ සහ අසරුවන් ඇති ව නුඹලාගේ පියවරුන් ලුහුබැඳ රතු මුහුද දක්වා ගියහ.</verse>
				<verse number="7">ඔවුන් මට මොරගැසූ කල මම නුඹලාටත්, මිසරවරුන්ටත් අතරේ අන්ධකාරයක් ඇති කර මුහුද ඔවුන් පිටට පමුණුවා ඔවුන් මුහුදුබත් කෙළෙමි. මා මිසරයේ දී කළ දේ නුඹලාගේ ඇස්වලින් ම නුඹලා දුටුවහු ය. නුඹලා කාන්තාරයේ බොහෝ කාලයක් වාසය කළහු ය.</verse>
				<verse number="8">‘තවද, මම නුඹලා ජොර්දානින් එතෙර වාසය කළ අමෝරිවරුන්ගේ දේශයට ගෙනාවෙමි. ඔව්හු නුඹලාට විරුද්ධ ව යුද්ධ කළහ. මම ඔවුන් නුඹලා අතට පාවා දුනිමි. නුඹලා ඔවුන්ගේ දේශය හිමි කර ගත්තහු ය. මම ඔවුන් නුඹලා ඉදිරියෙන් විනාශ කරදැමීමි.</verse>
				<verse number="9">එකල ශිප්පෝර්ගේ පුත් මෝවබ්හි රජ වූ බාලාක් ඉදිරිපත් වී ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කර, නුඹලාට සාප කරන පිණිස බෙයෝර්ගේ පුත් බාලාම්ට අඬගසා යැව්වේ ය.</verse>
				<verse number="10">එහෙත්, මා බාලාම්ට සවන් දීමට නොකැමැති වූ බැවින් ඔහු නුඹලාට ආශීර්වාද කෙළේ ය. මෙසේ මම ඔවුන්ගේ අතින් නුඹලා ගැළවීමි.</verse>
				<verse number="11">නුඹලා ජොර්දානින් එගොඩ වී ජෙරිකෝවට පැමිණියහු ය. ජෙරිකෝවේ වැසියෝ ද අමෝරිවරු ද පෙරිස්සිවරු ද කානානිවරු ද හිත්තීවරු ද ගිර්ගාෂිවරු ද හිවීවරු ද ජෙබුසිවරු ද නුඹලාට විරුද්ධ ව සටන් කළෝ ය. මම ඔවුන් නුඹලා අතට පාවා දුනිමි.</verse>
				<verse number="12">මම නුඹලාට පෙරටුව දෙබරුන් යැවීමි. ඒ දෙබරු අමෝරිවරුන්ගේ රජුන් දෙදෙනා නුඹලා ඉදිරියෙන් පලවාදැමූ හ. එසේ වුණේ, නුඹලාගේ කඩුවෙන් වත්, දුන්නෙන් වත් නොවේ.</verse>
				<verse number="13">මෙසේ නුඹලා වෙහෙස නොවී ලබාගත් දේශයක් ද නුඹලා ම ගොඩ නොනැඟුව නගර ද නුඹලාට දුනිමි; නුඹලා එහි වාසය කරන්නහු ය. නුඹලා නොවැවූ මිදි වතුවලින් ද ඔලීව වතුවලින් ද පලදාව කන්නහු ය.’</verse>
				<verse number="14">“එබැවින් ඔබ හැම දෙවියන් වහන්සේට ගරුබිය පා, අවංක ව ද විශ්වාසී ව ද උන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. ඔබේ පියවරුන් ගංගාවෙන් එතෙර දීත්, මිසරයේ දීත් වැඳුම්පිදුම් කළ දෙවිවරුන් පහකර දමා, සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න.</verse>
				<verse number="15">සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමට ඔබ සතුටු නැත් නම්, ඔබ වැඳුම්පිදුම් කරන්නට කැමැති කවරෙකුට ද කියා අදම තීරණය කරගන්න. ගඟින් එගොඩ සිටි ඔබේ පියවරුන් වැඳුම්පිදුම් කළ දෙවිවරුන්ට හෝ ඔබ වාසය කරන දේශයේ සිටින අමෝරිවරුන්ගේ දෙවිවරුන්ට හෝ වැඳුම්පිදුම් කරන්නට තීරණය කරගන්න. එහෙත් අපි, එනම්, මාගේ පවුල ද, මම ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නෙමු.”</verse>
				<verse number="16">සෙනඟ පිළිතුරු දෙමින්, “අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන පිණිස කවරදාවත් අපි සමිඳාණන් වහන්සේ අත් නොහරින්නෙමු.</verse>
				<verse number="17">මන්ද, අප සහ අපේ පියවරුන් මිසර දේශය නමැති වහල්කමේ නිවාසයෙන් පිටතට ගෙනාවේත්, අපේ ඇස් ඉදිරියේ මහත් හාස්කම් කෙළේත්, අපේ මුළු මාර්ගයේ දී ද අප පසු කර ආ මුළු සෙනඟ අතරේ දී ද අප ආරක්ෂා කෙළේත්, අපේ දෙවි සමිඳාණන් වහන්සේ ම ය.</verse>
				<verse number="18">සමිඳාණන් වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයන් ද දේශයේ සිටි අමෝරිවරුන් ද අප ඉදිරියෙන් එළවා දැමූ සේක. එබැවින් අපිත් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නෙමු. මන්ද, උන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ ය”යි කීවෝ ය.</verse>
				<verse number="19">ජෝෂුවා සෙනඟට කතා කොට, “සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නට ඔබට නොහැකි ය. මන්ද, උන් වහන්සේ ශුද්ධ දෙවි කෙනෙකි; ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකි. එබැවින් උන් වහන්සේ ඔබේ අපරාධ ද පාප ද කමා නොකරන සේක.</verse>
				<verse number="20">ඉතින් ඔබ සමිඳාණන් වහන්සේ අත්හැර අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන්නහු නම්, උන් වහන්සේ ඔබට කලින් යහපත කළ නමුත්, දැන් ඔබට විරුද්ධ වී ඔබට විපත්ති පමුණුවා ඔබ විනාශ කරන සේකැ”යි කීවේ ය.</verse>
				<verse number="21">සෙනඟ ද පිළිතුරු දෙමින්, “නැත. අප වැඳුම්පිදුම් කරන්නේ සමිඳාණන් වහන්සේට ම ය”යි ජෝෂුවාට කීවෝ ය.</verse>
				<verse number="22">ජෝෂුවා කතා කරමින්, “සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමට ඔබ උන් වහන්සේ තෝරාගත් බවට ඔබට විරුද්ධ ව ඔබ ම සාක්ෂිකාරයෝ ය”යි සෙනඟට කීවේ ය. ඔව්හු පිළිතුරු දෙමින්, “අපි සාක්ෂිකාරයෝ වමු”යි කීවෝ ය.</verse>
				<verse number="23">“එසේ වී නම් ඔබ අතරෙහි ඇති අන් දෙවිවරුන් පහකර දමා, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත ඔබේ සිත් යොමු කරන්නැ”යි ජෝෂුවා ඔවුන්ට කීවේ ය.</verse>
				<verse number="24">“අපි අපේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳ පුදා උන් වහන්සේගේ හඬට සවන් දෙන්නෙමු”යි සෙනඟ ද, ජෝෂුවාට පිළිතුරු දුන්නෝ ය.</verse>
				<verse number="25">මෙසේ ජෝෂුවා ඒ දවසේ ෂෙකෙම්හි දී සෙනඟ සමඟ ගිවිසුමක් කර, ඔවුන්ට පණතක් ද නියෝගයක් ද නියම කෙළේ ය.</verse>
				<verse number="26">ජෝෂුවා මේ වචන දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා පොතේ ලියා, විශාල ගලක් රැගෙන එය සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානයේ තිබුණ ආලෝන ගස යට පිහිටුවා,</verse>
				<verse number="27">මුළු සෙනඟ අමතා, “මේ ගල අපට සාක්ෂියක් පිණිස තිබේ. මන්ද, සමිඳාණන් වහන්සේ අපට වදාළ සියලු වචන ඒ ගලට ඇසුණේ ය. එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ප්‍රතික්ෂේප නොකරන පිණිස ඒ ගල ඔබට සාක්ෂියක් වන්නේ ය”යි කීවේ ය.</verse>
				<verse number="28">ඉන්පසු ජෝෂුවා මුළු සෙනඟ තම තමන්ගේ උරුම ප්‍රදේශවලට යැව්වේ ය.</verse>
				<verse number="29">මේ සිද්ධීන්ගෙන් පසු සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු නූන්ගේ පුත් ජෝෂුවා එකසිය දස අවුරුද්දක් ආයු වළඳා මියගියේ ය.</verse>
				<verse number="30">ඔව්හු එප්‍රායිම් කඳු රටේ ගායෂ් කන්දට උතුරෙන් තිබෙන තිම්නාත්-සෙරා නම් වූ ඔහුගේ උරුම පළාතෙහි ඔහු තැන්පත් කළහ.</verse>
				<verse number="31">ඉශ්රායෙල්වරු ජෝෂුවා සිටි මුළු කාලයේ දී ද ඔහුට පසුව ජීවත් ව සිටි, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් උදෙසා කළ උන් වහන්සේගේ සියලු ක්‍රියා දැනගෙන සිටි ප්‍රජා මූලිකයන් ජීවත් ව සිටි මුළු කාලයේ දී ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කළෝ ය.</verse>
				<verse number="32">තවද, ඉශ්රායෙල් ජනයා මිසරයෙන් ගෙනා ජෝසෙප්ගේ ඇටකටු ෂෙකෙම්හි, ජාකොබ් විසින් ෂෙකෙම්ගේ පියා වූ හමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදී මිල සියයකට ගන්නා ලද බිම් කොටසෙහි තැන්පත් කළෝ ය. එය ජෝසෙප්ගේ පරපුරට උරුමයක් විය.</verse>
				<verse number="33">ආරොන්ගේ පුත් එලෙයාසර් ද මියගියේ ය. ඔව්හු, ඔහුගේ පුත් පිනෙහාස්ට එප්‍රායිම් කඳු රටෙහි දෙන ලද ගිබියා නගරයේ ඔහු තැන්පත් කළෝ ය.</verse>
			</chapter>
		</book>
		<book number="7">
			<chapter number="1">
				<verse number="1">ජෝෂුවාගේ මරණයෙන් පසු ඉශ්රායෙල් ජනයා, “කානානිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස පළමු කොට අප අතරෙන් යා යුතු ගෝත්‍රය කුමක් දැ”යි සමිඳාණන් වහන්සේගෙන් ඇසූ හ.</verse>
				<verse number="2">සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “ජුදාගේ ගෝත්‍රය පළමු කොට යා යුතු ය; මම ඔවුන්ගේ අතට දේශය දිනිමි”යි වදාළ සේක.</verse>
				<verse number="3">ජුදාගේ ගෝත්‍රය සිමියො‍න් නම් තම සහෝදර ගෝත්‍රයට කතා කොට, “අප කානානිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස අපට හිමි උරුම කොටසට ඔබත් අප සමඟ එන්න; අපිත් ඔබේ උරුම කොටසට ඔබ සමඟ එන්නෙමු”යි කී හ. මෙසේ සිමියො‍න්ගේ ගෝත්‍රය ජුදාගේ ගෝත්‍රය සමඟ ගියහ.</verse>
				<verse number="4">ජුදා ගෝත්‍රය එසේ නැඟී ගිය කල, සමිඳාණන් වහන්සේ කානානිවරුන් ද පෙරිස්සිවරුන් ද ඔවුන්ගේ අතට පාවා දුන් සේක. ඔව්හු බෙශෙක්හි දී මිනිසුන් දසදහසකට පහර දුන්නෝ ය.</verse>
				<verse number="5">බෙශෙක්හි දී අදොනි-බෙශෙක් ඔවුන්ට හමු විය. ඔව්හු ඔහුට විරුද්ධ ව යුද්ධ කොට කානානිවරුන්ටත්, පෙරිස්සිවරුන්ටත් පහර දුන්නෝ ය.</verse>
				<verse number="6">එහෙත්, අදොනි-බෙශෙක් පලා ගියේ ය. ඔව්හු ඔහු ලුහුබැඳ ගොස්, ඔහු අල්ලාගෙන ඔහුගේ අත්පාවල මාපටැඟිලි කපාදැමූ හ.</verse>
				<verse number="7">අදොනි-බෙශෙක් කතා කොට, “අත්පාවල මාපටැඟිලි කපාදමන ලද රජවරු සැත්තෑදෙනෙක් මාගේ මේසයෙන් වැටෙන කෑම ඇහිඳ ගත්තෝ ය; මා ඔවුන්ට කළ ලෙස දෙවියන් වහන්සේ මට ප්‍රතිවිපාක දුන් සේකැ”යි කීවේ ය. ඔව්හු ඔහු ජෙරුසලමට ගෙන ගියො‍‍් ය. ඔහු එහි දී මළේ ය.</verse>
				<verse number="8">ජුදා සෙනඟ ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කොට, එය අල්ලාගෙන, ඊට කඩුවෙන් පහර දී නුවර ගිනි ලෑවෝ ය.</verse>
				<verse number="9">ඉන්පසු ජුදා සෙනඟ කඳු රටේ ද දකුණු දිශාවේ ද පහත රටේ ද විසූ කානානිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට බැස ගියෝ ය.</verse>
				<verse number="10">එසේ ජුදා සෙනඟ කලින් කිරියත්-අර්බා යන නම තිබූ හෙබ්‍රොන්හි වාසය කළ කානානිවරුන්ට විරුද්ධ ව ගොස්, ෂේෂයිට ද අහීමාන්ට ද තල්මයිට ද පහර දුන්නෝ ය.</verse>
				<verse number="11">ඔව්හු එතැනින් දෙබීර් වැසියන්ට විරුද්ධ ව ගියෝ ය. කලින් දෙබීර්ට තිබුණු නම කිරියත්-සේපෙර් ය.</verse>
				<verse number="12">කාලෙබ් කතා කොට, “කිරියත්-සේපෙර්ට පහර දී එය අල්ලාගන්න තැනැත්තාට මාගේ දුව වන අක්සා බිරිඳ කොට පාවා දෙන්නෙමි”යි කීවේ ය.</verse>
				<verse number="13">කාලෙබ්ගේ බාල සහෝදරයා වන කෙනස්ගේ පුත් ඔත්නියෙල් එය අල්ලාගත්තේ ය. කාලෙබ් තමාගේ දුව වන අක්සා ඔහුට බිරිඳ කොට විවාහ කර දුන්නේ ය.</verse>
				<verse number="14">ඈ ඔහු වෙත පැමිණි කල ඇගේ පියාගෙන් කෙතක් ඉල්ලන්නට ඔහු ඈට පෙරැත්ත කෙළේ ය. ඈ කොටළුවා පිටින් බැස්සා ය. එවිට කාලෙබ් ඈට කතා කොට, “ඔබට ඕනෑ කුමක් දැ”යි ඇගෙන් ඇසී ය.</verse>
				<verse number="15">ඈ ද, “මට වරයක් දුන මැනවි. ඔබ වියළි පෙදෙසක් වන දකුණු දිශාව මට දී තිබෙන බැවින් දිය උල්පත් ද මට දුන මැනවැ”යි කීවා ය. එවිට කාලෙබ් ඉහළ උල්පත් ද පහළ උල්පත් ද ඈට දුන්නේ ය.</verse>
				<verse number="16">කේනීය ජාතිකයෙකු වූ මෝසෙස්ගේ මාමණ්ඩියගේ පරම්පරාව ජුදා සෙනඟ සමඟ ඉඳි ගස් නම් නුවර සිට අවුත්, අරාද්ට දකුණෙන් තිබෙන ජුදා පාළුකරයට ගොස් අමලෙක්වරුන් සමඟ වාසය කළෝ ය.</verse>
				<verse number="17">ජුදා සෙනඟ තමන් සහෝදර සිමියො‍න් සෙනඟ සමඟ ගොස්, ශෙපත්හි විසූ කානානිවරුන්ට පහර දී ඒ නගරය සහමුලින් ම විනාශ කර දැමුවෝ ය. එබැවින් ඒ නගරයට හොර්මා යන නම තබන ලදී.</verse>
				<verse number="18">ජුදා සෙනඟ ගාසා, අෂ්කෙලොන් සහ එක්‍රොන් යන නගර ද ඒවාට අයත් පළාත් ද අල්ලාගත්හ.</verse>
				<verse number="19">සමිඳාණන් වහන්සේ ජුදා සෙනඟ සමඟ සිටි සේක; ඔව්හු ද කඳු රටේ වැසියන් පන්නා දැමූ හ. එහෙත්, මිටියාවතේ වැසියන්ට යකඩ රථ තිබුණ බැවින් ඔවුන් පන්නා දමන්නට ඔවුන්ට නොහැකි විය.</verse>
				<verse number="20">මෝසෙස් කී ලෙස ඔව්හු කාලෙබ්ට හෙබ්‍රොන් නගරය දුන්නෝ ය. ඔහු එතැනින් අනාක්ගේ පුත්‍රයන් තිදෙනා පන්නා දැමී ය.</verse>
				<verse number="21">බෙන්ජමින්ගේ ගෝත්‍රයේ මිනිස්සු ජෙරුසලමේ විසූ ජෙබුසිවරුන් පන්නා නොදැමූ හ. ජෙබුසිවරු අද දවස දක්වා බෙන්ජමින් ගෝත්‍රයේ සෙනඟ සමඟ ජෙරුසලමේ වාසය කරති.</verse>
				<verse number="22">ජෝසෙප්ගේ ගෝත්‍ර බෙතෙල්ට විරුද්ධ ව ගියෝ ය. සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ සිටි සේක.</verse>
				<verse number="23">ජෝසෙප්ගේ ගෝත්‍ර බෙතෙල් ගැන ඔත්තු සොයන පිණිස චර පුරුෂයන් යැව්වෝ ය. කලින් ඒ නගරයේ නම ලූස් ය.</verse>
				<verse number="24">ඒ චර පුරුෂයෝ මිනිසෙකු නගරයෙන් එනු දැක, “නගරයට ඇතුළු වන මාර්ගය අපට පෙන්වන්න, එවිට අපි ඔබට කරුණාව දක්වන්නෙමු”යි කීවෝ ය.</verse>
				<verse number="25">නගරයට ඇතුළු වන මාර්ගය ඔහු ඔවුන්ට පෙන්නුවේ ය. ඔව්හු නගරයට කඩුවෙන් පහර දුන්නෝ ය. එහෙත්, ඔව්හු ඒ මිනිසාත්, ඔහුගේ මුළු පවුලත් බේරා හැරියෝ ය.</verse>
				<verse number="26">ඒ මිනිසා හිත්තීවරුන්ගේ දේශයට ගොස්, එහි නගරයක් ගොඩනඟා, ඊට ලූස් යන නාමය තැබුවේ ය. අද දවස දක්වා එහි නම එය ම ය.</verse>
				<verse number="27">මනස්සේගේ ගෝත්‍රයේ සෙනඟ බෙත්-ෂෙයාන් හා ඊට අයිති නගරවල වැසියන් වත්, තයනාක් හා ඊට අයිති නගරවල වැසියන් වත්, දෝර් සහ ඊට අයිති නගරවල වැසියන් වත්, ඉබ්ලෙයාම් හා ඊට අයිති නගරවල වැසියන් වත්, මෙගිද්දෝ හා ඊට අයිති නගරවල වැසියන් වත් පන්නා නොදැමුවෝ ය. කානානිවරු ඒ රටේ ම වාසය කළෝ ය.</verse>
				<verse number="28">ඉශ්රායෙල්වරුන් බලවත් වූ කල ඔව්හු කානානිවරුන් බර වැඩට යෙදෙව්වෝ ය. එහෙත් ඔවුන් සහමුලින් ම පන්නා නොදැමුවෝ ය.</verse>
				<verse number="29">එප්‍රායිම්ගේ ගෝත්‍රයේ සෙනඟ ගෙශෙර්හි විසූ කානානිවරුන් පන්නා නොදැමුවෝ ය. කානානිවරු ඔවුන් අතර වාසය කළෝ ය.</verse>
				<verse number="30">සාබුලොන්ගේ ගෝත්‍රයේ සෙනඟ කිත්‍රොන් වැසියන් ද නහලොල් වැසියන් ද පන්නා නොදැමුවෝ ය. කානානිවරු ඔවුන් අතර වාසය කරමින් බර වැඩට යටත් වූ හ.</verse>
				<verse number="31">ආෂෙර් ගෝත්‍රයේ වැසියෝ අක්කෝහිත්, සීදොන්හිත්, අහ්ලාබ්හිත්, අක්ශිබ්හිත්, හෙල්බාහිත්, අපෙක්හිත්, රෙහොබ්හිත් වැසියන් පන්නා නොදැමුවෝ ය.</verse>
				<verse number="32">ආෂෙර්වරු ඒ දේශවාසි වූ කානානිවරුන් සමඟ වාසය කළෝ ය. ඔව්හු ඔවුන් පන්නා නොදැමුවෝ ය.</verse>
				<verse number="33">නප්තලී ගෝත්‍රයේ සෙනඟ බෙත්-ෂෙමෙෂ්හි වැසියන් වත්, බෙත්-අනාත්හි වැසියන් වත් පන්නා නොදමා, රටේ වැසියන් වූ කානානිවරුන් අතරේ වාසය කළෝ ය. එසේ වුවත්, බෙත්-ෂෙමෙෂ්හි ද බෙත්-අනාත්හි ද වැසියෝ බර වැඩ පිණිස ඔවුන්ට යටත් වුණෝ ය.</verse>
				<verse number="34">අමෝරිවරු දාන්ගේ ගෝත්‍රයේ සෙනඟට මිටියාවතට බසින්නට නොදී කඳු රටට ඔවුන් නෙරපා හැරියෝ ය.</verse>
				<verse number="35">අමෝරිවරු හෙරෙස් කන්දේ ද අයාලෝන්හි ද ෂාල්බිම්හි ද වාසය කළෝ ය. එසේ වුවත්, ජෝසෙප්ගේ ගෝත්‍ර බලවත් වූ පසු අමෝරිවරු බර වැඩට යටත් වුණෝ ය.</verse>
				<verse number="36">අමෝරිවරුන්ගේ දේශ සීමාව අක්‍රබ්බිම් නැඟුමේ පටන් පර්වතයේ ඉහළට පිහිටියේ ය.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">සමිඳාණන් වහන්සේගේ දූතයා ගිල්ගාල්හි සිට බෝකීම්ට අවුත් ඉශ්රායෙල්වරුන්ට මෙසේ කීවේ ය: “මම නුඹලා මිසරයෙන් පිටතට පමුණුවා, නුඹලාගේ පියවරුන්ට පොරොන්දු වූ දේශයට නුඹලා ගෙනාවෙමි. ‘නුඹලා සමඟ මාගේ ගිවිසුම කිසි කලක කඩ නොකරන්නෙමි’යි කීවෙමි.</verse>
				<verse number="2">‘එසේ ම මේ දේශයේ වැසියන් සමඟ කිසි ගිවිසුමක් නොකොට, ඔවුන්ගේ පූජාසන කඩා දමන්නැ’යි ද කීවෙමි. එහෙත්, නුඹලා මාගේ හඬට සවන් නුදුන්නහු ය. නුඹලා මෙසේ කෙළේ මන් ද?</verse>
				<verse number="3">එබැවින් මම නුඹලා ඉදිරියෙන් ඔවුන් පන්නා නොදමන්නෙමි; ඔව්හු නුඹලාගේ සතුරෝ වන්නෝ ය; ඔවුන්ගේ දෙවි දේවතාවෝ නුඹලාට මලපතක් මෙන් වන්නෝ ය.”</verse>
				<verse number="4">සමිඳාණන් වහන්සේගේ දූතයා සකල ඉශ්රායෙල් ජනයාට මේ වචන කී විට ඔව්හු ශබ්ද නඟා හැඬුවෝ ය.</verse>
				<verse number="5">ඔව්හු ඒ ස්ථානයට බෝකීම් යැයි නම් තබා එහි දී සමිඳාණන් වහන්සේට පූජා ඔප්පු කළෝ ය.</verse>
				<verse number="6">ජෝෂුවා සෙනඟ පිටත් කර යැවූ කල, ඉශ්රායෙල් සෙනඟ දේශය හිමි කරගනු පිණිස තම තමන්ට නියම උරුම ප්‍රදේශවලට ගියෝ ය.</verse>
				<verse number="7">ඉශ්රායෙල් සෙනඟ ජෝෂුවා ජීවත් ව සිටි මුළු කාලය තුළ දී ද, ජෝෂුවාට පසුව ජීවත් ව සිටි, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් උදෙසා කළ, උන් වහන්සේගේ සකල බලවත් ක්‍රියා දුටු, ප්‍රජා මූලිකයන් ජීවත් ව සිටි කාලය තුළ දී ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කළෝ ය.</verse>
				<verse number="8">සමිඳාණන් වහන්සේගේ සේවක නූන්ගේ පුත් ජෝෂුවා එකසිය දස අවුරුද්දක් ආයු වළඳා මියගියේ ය.</verse>
				<verse number="9">ඔව්හු එප්‍රායිම් කඳු රටේ ගායෂ් කන්දට උතුරෙන් තිබෙන තිම්නාත්-හෙරෙස් නම් ඔහුගේ උරුම පළාතෙහි දී ඔහු තැන්පත් කළෝ ය.</verse>
				<verse number="10">ඒ මුළු පරම්පරාව ද මියගොස් ඔවුන්ගේ පියවරුන්ගේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබූ හ. ඔවුන්ට පසු නැඟී ආ පරම්පරාව සමිඳාණන් වහන්සේ වත්, ඉශ්රායෙල් උදෙසා උන් වහන්සේ කළ ක්‍රියා වත් නොදත්තෝ ය.</verse>
				<verse number="11">ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නපුරු දේ කර බාල් දේවතාවන්ට වැඳුම්පිදුම් කළහ.</verse>
				<verse number="12">ඔව්හු තමන්ගේ පියවරුන් මිසර දේශයෙන් පිටතට ගෙනා තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අතහැර, අන් දෙවිවරුන් එනම්, තමන් අවට සිටි මනුෂ්‍ය ජාතීන්ගේ දෙවිවරුන් අනුව ගොස් ඔවුන්ට නමස්කාර කළෝ ය. එසේ කිරීමෙන් ඔව්හු සමිඳාණන් වහන්සේ කෝප කළෝ ය.</verse>
				<verse number="13">ඔව්හු සමිඳාණන් වහන්සේ අත්හැර බාල් දේවතාවාටත්, අෂ්ටාරොත් දේවතාවියටත් වැඳුම්පිදුම් කළෝ ය.</verse>
				<verse number="14">සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ඇවිළී, උන් වහන්සේ ඔවුන් කොල්ලකාරයන් අතට පාවා දුන් සේක. ඔව්හු ද ඔවුන්ගෙන් කොල්ලකෑවෝ ය. තමන්ගේ සතුරන්ට විරුද්ධ ව සිටින්නට තවත් ඔවුන්ට නොහැකි වන ලෙස උන් වහන්සේ ඔවුන් වට කර සිටි සතුරන්ගේ අතට ඔවුන් පාවා දුන් සේක.</verse>
				<verse number="15">සමිඳාණන් වහන්සේ කී ප්‍රකාරයටත්, ඔවුන්ට දිවුළ හැටියටත් ඔවුන් යුද්ධයට ගිය හැම අවස්ථාවක දී ම උන් වහන්සේගේ හස්තය ඔවුන්ට විරුද්ධ ව තිබුණේ ය. ඔව්හු ද තද අමාරුවට පත් වුණෝ ය.</verse>
				<verse number="16">එවිට ඉශ්රායෙල් සෙනඟ කොල්ලකෑ අයගෙන් ඔවුන් ගළවාගන්න පිණිස සමිඳාණන් වහන්සේ වීර නායකයන් පත් කළ සේක.</verse>
				<verse number="17">එහෙත්, ඔව්හු ඒ වීර නායකයන්ට වත් සවන් නොදී උන් වහන්සේට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගෙන ඔවුන්ට නමස්කාර කළෝ ය. සමිඳාණන් වහන්සේගේ ආඥාවලට කීකරු ව සිටි ඔවුන්ගේ පියවරුන් මෙන් ඔව්හු ක්‍රියා නොකොට, ඔවුන් ගිය මාර්ගයෙන් වහා ම ඉවත් ව ගියෝ ය.</verse>
				<verse number="18">සමිඳාණන් වහන්සේ ඔවුන්ට වීර නායකයන් පත් කර දුන් විට උන් වහන්සේ වීර නායකයන් සමඟ සිට, ඔවුන්ගේ මුළු ජීවිත කාලය තුළ ඉශ්රායෙල්වරුන් සතුරන්ගේ අතින් ගැළෙවු සේක. ඔවුන්ට පීඩා කළාවූ ද ඔවුන් පොඩි කළාවූ ද අය කරණකොටගෙන හටගත් ඔවුන්ගේ කෙඳිරිගෑම නිසා සමිඳාණන් වහන්සේ ඔවුන්ට අනුකම්පා කළ සේක.</verse>
				<verse number="19">එහෙත්, වීර පුරුෂයෙකු මැරුණු කල, ඔව්හු හැරී අන් දෙවිවරුන් අනුව ගොස්, ඔවුන්ට වැඳුම්පිදුම් හා නමස්කාර කරමින්, තමන්ගේ පියවරුන්ටත් වඩා දූෂ්‍යකම් කළහ. ඔව්හු ඔවුන්ගේ ක්‍රියාවලින් වත්, මුරණ්ඩුකම්වලින් වත් කිසිවක් අත්නෑරියෝ ය.</verse>
				<verse number="20">සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ඇවිළුණේ ය. එවිට උන් වහන්සේ මෙසේ වදාළ සේක: “මේ ජාතිය මාගේ හඬට සවන් නොදී, මා ඔවුන්ගේ පියවරුන්ට අණ කළ මාගේ ගිවිසුම කඩ කළ බැවින්,</verse>
				<verse number="21">මම ජෝෂුවා නසින විට ඉතිරි ව සිටි ජාතීන්ගෙන් එක් කෙනෙකු වත් ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් මින්පසු පන්නා නොදමන්නෙමි.</verse>
				<verse number="22">මෙසේ කරන්නේ, ඔවුන්ගේ පියවරුන් මාගේ මාර්ගය රක්ෂා කළ පරිදි, ඔව්හු ද ඒ මාර්ගයේ හැසිරෙන ලෙස එය රක්ෂා කරත් ද නැද්ද යනු ඒ ජාතීන් කරණකොටගෙන ඉශ්රායෙල් ජනයා සෝදිසිකර බලන පිණිස ය.”</verse>
				<verse number="23">එබැවින් සමිඳාණන් වහන්සේ ඒ ජාතීන් ජෝෂුවා අතට පාවා නොදී, ඔවුන් ඉක්මනින් පන්නා නොදමා එහි විසීමට ඉඩ දුන් සේක.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">කානාන්හි ඇති වූ සියලු යුද්ධ සම්බන්ධයෙන් අත්දැකීමක් නොලැබූ සකල ඉශ්රායෙල්වරු සෝදිසි කරන පිණිස සමිඳාණන් වහන්සේ ඉතිරි කළ ජාතීහු මොවුහු ය.</verse>
				<verse number="2">උන් වහන්සේ එසේ කෙළේ, ඉශ්රායෙල් ජනයාගේ පරම්පරාවලින් මීට පෙර යුද්ධ කරන්නට දැනගෙන නොසිටිය අයට එය ඉගැන්වීමට ය.</verse>
				<verse number="3">ඒ ජාතීහු නම්, පිලිස්තිවරුන්ගේ අධිපතිවරු පස්දෙනාත්, කානානිවරු සියලුදෙනාත්, සීදොන්වරුත්, බාල්-හෙර්මොන් කන්දේ පටන් හමාත්ට ඇතුළු වන තැන දක්වා ලෙබනොන් කඳුකරයේ වාසය කළ හිවීවරුත් වෙති.</verse>
				<verse number="4">ඔවුන් ඉතිරි කෙළේ, සමිඳාණන් වහන්සේ මෝසෙස් ලවා ඉශ්රායෙල්වරුන්ගේ පියවරුන්ට අණ කර වදාළ උන් වහන්සේගේ ආඥාවලට ඔව්හු කීකරු වෙත් දැ යි ඒ ජාතීන් කරණකොටගෙන ඉශ්රායෙල්වරුන් සෝදිසි කරන පිණිස ය.</verse>
				<verse number="5">ඉශ්රායෙල් සෙනඟ කානානිවරුන් ද හිත්තීවරුන් ද අමෝරිවරුන් ද පෙරිස්සිවරුන් ද හිවීවරුන් ද ජෙබුසිවරුන් ද අතරෙහි වාසය කළහ.</verse>
				<verse number="6">ඔව්හු ඔවුන්ගේ දූවරුන් සරණ පාවාගෙන, තමන්ගේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන්ට දී ඔවුන්ගේ දෙවිවරුන්ට වැඳුම්පිදුම් කළෝ ය.</verse>
				<verse number="7">ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය. ඔව්හු තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අමතක කොට බාල් දේවතාවුන්ටත්, අෂෙර් දේවතාවියටත් වැඳුම්පිදුම් කළහ.</verse>
				<verse number="8">එබැවින් සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් සෙනඟට විරුද්ධ ව ඇවිළ, මෙසොපොතේමියේ රජ වූ කුෂාන්-රිෂාතයිම් අතට උන් වහන්සේ ඔවුන් පාවා දුන් සේක. ඉශ්රායෙල් සෙනඟ කුෂාන්-රිෂාතයිම්ට අට අවුරුද්දක් මෙහෙවර කළහ.</verse>
				<verse number="9">ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට මොරගැසූ කල සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් සෙනඟට ගැළවුම්කාරයෙකු එවා වදාළ සේක. ඔහු වූ කලී කාලෙබ්ගේ බාල සහෝදරයා වන කෙනස්ගේ පුත් ඔත්නියෙල් ය.</verse>
				<verse number="10">සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු කෙරෙහි පැමිණියෙන්, ඔහු ඉශ්රායෙල්වරුන්ගේ වීර පුරුෂයා වී යුද්ධයට පිටත් ව ගියේ ය. සමිඳාණන් වහන්සේ මෙසොපොතේමියේ රජ වූ කුෂාන්-රිෂාතයිම් ඔහු අතට පාවා දුන් සේක. ඔහු කුෂාන්-රිෂාතයිම් පරදවා ජය ගත්තේ ය.</verse>
				<verse number="11">එවිට හතළිස් අවුරුද්දක් දේශයේ සාමය පැවතුණේ ය. ඉන්පසු කෙනස්ගේ පුත් ඔත්නියෙල් මැරුණේ ය.</verse>
				<verse number="12">ඉශ්රායෙල් සෙනඟ යළිත් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය. ඔවුන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ නිසා උන් වහන්සේ ඔවුන්ට විරුද්ධ ව මෝවබ්හි රජ වූ එග්ලොන් බලවත් කළ සේක.</verse>
				<verse number="13">ඔහු අම්මොන් සහ අමලෙක් සෙනඟ රැස් කරවාගෙන ගොස් ඉශ්රායෙල්වරුන්ට පහර දී, ඉඳි ගස් නුවර ද හිමි කරගත්තේ ය.</verse>
				<verse number="14">ඉශ්රායෙල් සෙනඟ මෝවබ්හි රජ වූ එග්ලොන්ට දසඅට අවුරුද්දක් මෙහෙවර කළෝ ය.</verse>
				<verse number="15">එහෙත්, ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට මොරගැසූ කල සමිඳාණන් වහන්සේ ගැළවුම්කාරයෙකු ඔවුන්ට එවා වදාළ සේක. ඔහු වූ කලී බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයිති ගේරාගේ පුත් ඒහුද් ය. ඔහු වමත හුරු මිනිසෙක් විය. ඉශ්රායෙල් සෙනඟ මෝවබ්හි රජ වූ එග්ලොන්ට ඒහුද් අත කප්පම් යැවූ හ.</verse>
				<verse number="16">ඔහු රියනක් දිග දෙමුවහත් කඩුවක් සාදාගෙන එය තමාගේ දකුණු කලවයෙහි ඇඳුම් යට බැඳගෙන ගොස්</verse>
				<verse number="17">මෝවබ්ගේ රජ වූ එග්ලොන්ට ඒ කප්පම පිරිනැමී ය. එග්ලොන් වනාහි ඉතා තර මිනිසෙකි.</verse>
				<verse number="18">ඒහුද් කප්පම පිරිනමා නිම වූ කල කප්පම ගෙන ගිය මිනිසුන් පිටත් කර හැරියේ ය.</verse>
				<verse number="19">එහෙත්, ඔහු ගිල්ගාල් ළඟ කැපූ ගල් තිබෙන තැන සිට හැරී ගොස්, “රජතුමනි, ඔබට කියන්න රහස් පණිවුඩයක් මට ඇතැ”යි කීවේ ය. රජ තෙමේ, “නිශ්ශබ්දවන්න” කියා, ඔහු වෙත සිටි සේවකයන් ඔහු කෙරෙන් පිටතට ඇරියේ ය.</verse>
				<verse number="20">ඒහුද් රජතුමා වෙත පැමිණියේ ය. ඔහු තමාගේ උඩුමහල් තලෙහි තනියම ඉඳගෙන සිටියේ ය. ඒහුද් ඔහු අමතා, “ඔබට දෙවියන් වහන්සේගේ පණිවුඩයක් දන්වන්න මට ඇතැ”යි කී ය. ඔහු හුනස්නෙන් නැඟිට්ටේ ය.</verse>
				<verse number="21">ඒහුද් තමාගේ වමත දිගු කොට දකුණු කලවයෙන් කඩුව ඇදගෙන රජුගේ බඩට ඇන්නේ ය.</verse>
				<verse number="22">තලය සමඟ මිටත් බඩ ඇතුළට ගියේ ය. රජුගේ බඩෙන් ඒහුද් කඩුව ඇද නොගත් නිසා, තලය මාංසයෙන් වැසී ගොස් පිටුපසින් එළියට නෙරා ආයේ ය.</verse>
				<verse number="23">ඒහුද් පිටත ශාලාවට ගොස්, උඩුමහලේ දොරවල් වසා තබා, අගුලු දමා ගියේ ය.</verse>
				<verse number="24">ඔහු පිටත් ව ගිය කල රජුගේ මෙහෙකරුවෝ අවුත් බැලූ හ. ඔව්හු උඩුමහලේ දොරවල් අගුලු දමා තිබෙනවා දැක, රජ තෙම, ‘උඩුමහල් තලයේ රහස් කාමරයේ ශරීරකෘත්‍යය කරනු ඇතැ’යි සිතූ හ.</verse>
				<verse number="25">ඔව්හු තුෂ්ණිම්භූත ව බලා සිටියෝ ය. ඔහු උඩුමහලෙහි දොරවල් නොහැරිය බැවින්, ඔව්හු යතුර ගෙන ඒවා ඇරිය කල, ඔවුන්ගේ ස්වාමියා බිම වැටී, මැරී සිටිනු දුටුවෝ ය.</verse>
				<verse number="26">ඔවුන් ප්‍රමාදවෙමින් සිටිය දී, ඒහුද් කැපූ ගල් ඇති ස්ථානය පසු කර සෙයිරාට ගැළවී ගියේ ය.</verse>
				<verse number="27">ඔහු අවුත් එප්‍රායිම් කඳු රටේ දී හොරණෑවක් පිම්බේ ය. එවිට ඉශ්රායෙල් ජනයා ඔහු සමඟ කඳු රටෙන් බැස ගියෝ ය. ඔහු ඔවුන්ට පෙරටුවෙන් ගොස්,</verse>
				<verse number="28">ඔවුන්ට කතා කොට, “මා පස්සේ එන්න; මන්ද, සමිඳාණන් වහන්සේ ඔබේ සතුරන් වන මෝවබ්වරුන් ඔබේ අතට පාවා දී ඇතැ”යි කීවේ ය. ඔව්හු ඔහු පස්සේ ගොස්, මෝවබ් ළඟ තිබෙන ජොර්දාන්හි තොටුපොළවල් අල්ලාගෙන කිසිවෙකුට එයින් එගොඩ වන්නට ඉඩ නොදුන්නෝ ය.</verse>
				<verse number="29">ඔව්හු ඒ අවස්ථාවේ දී මෝවබ්වරුන් දසදහසක් පමණ මැරුවෝ ය. ඒ මෝවබ්වරු සියලු දෙන ශක්තිසම්පන්න බලවන්ත අය වූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ගැළවුණේ නැත.</verse>
				<verse number="30">ඒ දවසේ දී මෝවබ්වරු ඉශ්රායෙල්වරුන් විසින් යටත් කරනු ලැබූ හ. ඉන්පසු අසූ අවුරුද්දක් තුළ දේශයේ සාමය පැවැතුණේ ය.</verse>
				<verse number="31">ඒහුද්ට පසුව පැමිණියේ අනාත්ගේ පුත් ෂම්ගර් ය. ඔහු පිලිස්තිවරුන්ගෙන් මිනිසුන් හයසියයක් හරක් අංකුසයකින් මැරී ය. ඔහු ද ඉශ්රායෙල් ගැළෙවුවේ ය.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">ඒහුද්ගේ මරණයෙන් පසු ඉශ්රායෙල් ජනයා යළිත් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය.</verse>
				<verse number="2">සමිඳාණන් වහන්සේ ද හාශොර්හි රජකම් කළ කානාන්හි රජ වූ ජාබින් අතට ඔවුන් පාවා දුන් සේක. ඔහුගේ සේනාවේ අධිපතියාගේ නම සිසෙරා ය. ඔහු හරොෂෙත්-ගොයිම් වැසියෙකි.</verse>
				<verse number="3">ඔහුට යකඩ රථ නවසියයක් තිබිණි. ඔහු ඉශ්රායෙල් සෙනඟට විසි අවුරුද්දක් තුළ බලවත් ලෙස පීඩා කෙළේ ය. එබැවින් ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට මොරගැසුවෝ ය.</verse>
				<verse number="4">ඒ කාලයෙහි ඉශ්රායෙල්වරුන් විනිශ්චය කෙළේ, ලප්පිදොත්ගේ බිරිඳ වූ දිවැසිවරියක වූ දෙබොරා තොමෝ ය.</verse>
				<verse number="5">එප්‍රායිම් කඳු රටේ රාමාටත්, බෙතෙල්ටත් අතර තිබෙන දෙබොරාගේ ඉඳි ගස යට අසුන් ගැනීම ඇගේ සිරිත විය. ඉශ්රායෙල් සෙනඟ විනිශ්චය ලබන පිණිස ඈ වෙත පැමිණියෝ ය.</verse>
				<verse number="6">ඈ කෙදෙෂ්-නප්තලීයෙන් අබිනොවම්ගේ පුත් බාරාක් කැඳවා ඔහු අමතා, “ඉශ්රායෙල් දෙවි සමිඳාණන් වහන්සේ ඔබට මෙසේ අණ කර ඇත: ‘නුඹ ගොස් නප්තලීගේ ගෝත්‍රයෙන් ද සාබුලොන්ගේ ගෝත්‍රයෙන් ද මිනිසුන් දසදහසක් රැස්කරගෙන තාබෝර් කන්දට යන්න;</verse>
				<verse number="7">මම ජාබින්ගේ සේනාවේ අධිපති සිසෙරා ද ඔහුගේ රථ ද ඔහුගේ හමුදාව ද කීෂොන් ඔය ළඟ නුඹ වෙත රැස් කර ඔහු නුඹේ අතට පාවා දෙන්නෙමි’ “යි කීවා ය.</verse>
				<verse number="8">බාරාක් ඈට පිළිතුරු දෙමින්, “ඔබ මා සමඟ යන්නෙහි නම් මමත් යන්නෙමි; ඔබ මා සමඟ නොයන්නෙහි නම් මමත් නොයන්නෙමි”යි කී ය.</verse>
				<verse number="9">ඈ පිළිතුරු දෙමින්, “සැබැවින් මම ඔබ සමඟ යන්නෙමි. එසේ වී නමුත්, ඔබ යන ගමන ඔබේ ගෞරවය පිණිස නොවන්නේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ස්ත්‍රියකගේ අතට සිසෙරා පාවා දෙනු ඇතැ”යි කීවා ය. එවිට දෙබොරා තොමෝ බාරාක් සමඟ කෙදෙෂ්ට ගියා ය.</verse>
				<verse number="10">බාරාක් සාබුලොන්වරුන් ද නප්තලීවරුන් ද කෙදෙෂ්ට කැඳවා ගත්තේ ය; මිනිස්සු දසදහසක් ඔහු කැටුව ගියෝ ය. දෙබොරාත් ඔහු සමඟ ගියා ය.</verse>
				<verse number="11">එකල කේනීය ජාතික හෙබෙර්, මෝසෙස්ගේ මාමණ්ඩි වන හොබාබ්ගේ පුත්‍රයන් වූ කේනිවරුන්ගෙන් වෙන් වී කෙදෙෂ් ළඟ තිබෙන ශයනන්නීම්හි ආලෝන වෘක්ෂය ළඟ තමාගේ කූඩාරම පිහිටුවාගෙන සිටියේ ය.</verse>
				<verse number="12">එවිට, අබිනොවම්ගේ පුත් බාරාක් තාබෝර් කන්දට ගිය බව සිසෙරාට දන්වන ලද්දේ ය.</verse>
				<verse number="13">සිසෙරා තමාගේ සියලු රථ එනම්, යකඩ රථ නවසියයක් ද තමා සමඟ සිටි මුළු සෙනඟ ද හරොෂෙත්-ගොයිම් සිට කීෂොන් ඔය ළඟට කැඳවාගත්තේ ය.</verse>
				<verse number="14">එවිට දෙබොරා බාරාක් අමතා, “නැඟිටින්න, මන්ද, සමිඳාණන් වහන්සේ සිසෙරා ඔබ අතට පාවා දෙන දවස මේ ය: සමිඳාණන් වහන්සේ ඔබට පෙරටුව යන සේකැ”යි කීවා ය. එහෙයින්, බාරාක් ද ඔහු අනුව මිනිස්සු දසදහසක් ද තාබෝර් කන්දෙන් බැස ගියෝ ය.</verse>
				<verse number="15">එවිට සමිඳාණන් වහන්සේ සිසෙරා හා ඔහුගේ සියලු රථ ද ඔහුගේ මුළු සේනාව ද බාරාක් ඉදිරියෙහි කඩුව ලෙලවා, ඔවුන් කලඹා විසුරුවාදැමූ සේක. සිසෙරා තමන්ගේ රථයෙන් බැස පයින් පලා ගියේ ය.</verse>
				<verse number="16">එහෙත්, බාරාක් රථ හා සේනාව පසුපස හරොෂෙත්-ගොයිම් දක්වා ලුහුබැඳ ගියේ ය. සිසෙරාගේ මුළු සේනාව කඩුවෙන් මරනු ලැබූ හ. එක් කෙනෙක් වත් ඉතුරු නො වී ය.</verse>
				<verse number="17">එහෙත්, හාශොර්හි රජ වූ ජාබින් හා කේනීය ජාතික හෙබෙර්ගේ වංශය අතරේ සාමය තිබුණු බැවින්, සිසෙරා කේනීය ජාතික හෙබෙර්ගේ භාර්යාව වූ ජායෙල්ගේ කූඩාරමට පයින් පලා ගියේ ය.</verse>
				<verse number="18">ජායෙල්, සිසෙරාගේ පෙරමඟට ගොස්, “මාගේ ස්වාමීනි, ඇතුළට අව මැනව; බිය නොවී මා ළඟට ඇතුළට අව මැනවැ”යි කීවා ය. ඔහු ඈ සමඟ කූඩාරමට ගියේ ය, ඈ පලස් රෙද්දකින් ඔහු වැසුවා ය.</verse>
				<verse number="19">ඔහු ද, “කරුණාකර වතුර ටිකක් බොන්නට දෙන්න, මට පිපාසා යැ”යි කීවේ ය. ඈ කිරි භාජනයක් ඇර ඔහුට බොන්නට දී ඔහු යළිත් වසා තැබුවා ය.</verse>
				<verse number="20">ඔහු ඈට කතා කොට, “ඔබ කූඩාරමේ දොරකඩ ළඟ සිට, යම් කෙනෙකු අවුත්, ‘මෙහි කවුරු වත් සිටින්නේ දැ’යි ඇසුවොත්, ‘නැතැ’යි කියන්නැ”යි ඈට කීවේ ය.</verse>
				<verse number="21">සිසෙරා බොහෝ තෙහෙට්ටු වී සිටි බැවින් තද නින්දට වැටී සිටියේ ය. එවිට හෙබෙර්ගේ බිරිඳ වූ ජායෙල් කූඩාරමේ ඇණය හා අතකොලුවක් රැගෙන නිශ්ශබ්ද ව ඔහු ළඟට ගොස් ඔහුගේ නළල් කෙළවරට ඒ ඇණය පොළොවට යන තෙක් ගසා හිස පසාරු කළා ය. මෙසේ ඔහු මළේ ය.</verse>
				<verse number="22">බාරාක් සිසෙරා ලුහුබැඳ ආ කල, ජායෙල් ඔහුගේ පෙරමඟට ගොස්, “එන්න, ඔබ සොයන මිනිසා පෙන්වමි”යි ඔහුට කීවා ය. ඔහු ඈ සමඟ ඇතුළට ගිය කල, සිසෙරා වැටී මැරී සිටිනවාත්, ඇණය ඔහුගේ නළල පසාරු කර ඇති බවත් දුටුවේ ය.</verse>
				<verse number="23">මෙසේ දෙවියන් වහන්සේ ඒ දවසේ දී කානානිය රජ වූ ජාබින් ඉශ්රායෙල් සෙනඟ ඉදිරියෙහි යටත් කළ සේක.</verse>
				<verse number="24">කානාන්හි රජ වූ ජාබින් සහමුලින් ම විනාශ කර දමන තුරු ඉශ්රායෙල් සෙනඟ ඔහුට විරුද්ධ ව වඩ වඩා බලවත් ලෙස පහර දුන්නෝ ය.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">ඒ දවසේ දී දෙබොරා ද අබිනොවම්ගේ පුත් බාරාක් ද මෙසේ ගී ගැයූ හ:</verse>
				<verse number="2">“අධිපතීන් ඉශ්රායෙල්හි මූලික ව ගිය බැවින්, සෙනඟ සිය කැමැත්තෙන් ඉදිරියට ආ බැවින්, සමිඳුන් හට දෙව් ගී පැසසුම්.</verse>
				<verse number="3">රජ දරුවෙනි අසන්න; අධිපතියෙනි කන් දෙන්න; සමිඳුන් හට මම ගී ගයමි. ඉශ්රායෙල්හි දෙවි සමිඳුන් හට පැසසුම් දෙමි.</verse>
				<verse number="4">සමිඳුනි, ඔබ සේයිර් සිට නික්ම ගිය කල, ඒදොම් සිට නැඟී ආ විට දෙරණ දෙදරා ගියේ ය; ගුවනින් වැසි වැස්සේ ය; මේඝයෙන් වතුර වෑස්සුණේ ය.</verse>
				<verse number="5">
					සීනයි කන්දේ සමිඳුන් ඉදිරියේ, ඉශ්රායෙල්ගේ දෙවි සමිඳුන් හමුයේ කඳු කම්පා වී ගියේ ය.
				</verse>
				<verse number="6">අනාත්ගේ පුත් ෂම්ගර්ගේ කාලයේ දී, ජායෙල් සිටි අවදියේ මහ මාවත්වල තවලම් නොගියේ ය. මගීහු අතුරු මාර්ගවලින් ගියහ.</verse>
				<verse number="7">දෙබොරා නම් මා නැඟී එන තෙක්, ඉශ්රායෙල්ට මා මවක වන තෙක් ඉශ්රායෙල්හි ප්‍රධානීහු කොහෙත් ම නොසිටියෝ ය.</verse>
				<verse number="8">ඔවුන් අමුතු දෙවිවරුන් තෝරාගත් කල, දොරටු කරා යුද්ධය පැමිණියේ ය. ඉශ්රායෙල්හි සතළිස්දහසක් අතරේ පලිහක් වත්, හෙල්ලයක් වත් දකින්නට ලැබුණේ ද?</verse>
				<verse number="9">සෙනඟ අතරෙන් සිය කැමැත්තෙන් ම, ඉදිරියට ආ සෙනෙවියන් කෙරේ මාගේ සිත ඇලුම් වේ. සමිඳුන් හට ගී පසස් දෙව්.</verse>
				<verse number="10">සුදු කොටළුවන් පිට නැඟී එන ඔබත්, බුමුතුරුණු පිට හිඳින ඔබත්, මඟ යන ඔබ හැම දෙනාත් එය ප්‍රකාශ කරන්න.</verse>
				<verse number="11">ළිං වටේ රැස් ව ජය හඬ නඟන සෙනඟ, සමිඳුන්ගේ ජය ශ්‍රී සමරති. සෙනඟගේ විජය ශ්‍රී ඔව්හු පසසති. එවිට සමිඳුන්ගේ සෙනඟ සිය නගරවලින් ගමන් කළහ.</verse>
				<verse number="12">පිබිදෙන්න, දෙබොරා පිබිදෙන්න, පිබිදෙන්න, පිබිදෙන්න, ගීයක් ගයන්න, නැඟිටින්න; අබිනොවම් පුත් බාරාක්, නැඟිටින්න; වාලට ගත් අය ගෙනයන්න.</verse>
				<verse number="13">ඉශ්රායෙල් සෙනඟ එකල දොරටු කරා ගමන් ගත්හ. සමිඳුන්ගේ සෙනඟ වීරයන් ලෙස එතුමන් වෙනුවෙන් සටනට ආහ.</verse>
				<verse number="14">ඔව්හු එප්‍රායිම් සිට මිටියාවතට ආහ, බෙන්ජමින් ගෝත්‍රයේ සෙනඟ ඔවුන්ට එක් වූ හ: මාකීර් කෙරෙන් සෙනෙවියෝ ද සාබුලොන් කෙරෙන් නිල යෂ්ටිය දරන්නෝ ද නිලධාරීහු ද පැමිණිය හ.</verse>
				<verse number="15">ඉස්සාකර් ගෝත්‍රයේ අධිපතීහු ද දෙබොරා සමඟ ආහ, ඉස්සාකර් සමඟ බාරාක් ද පැමිණියේ ය. ඔහු පසුපස ඔව්හු මිටියාවතට වේගයෙන් දිවූ හ. එහෙත්, රූබන්ගේ ගෝත්‍රය භේද භින්න වී දෙගිඩියාවෙන් පසු වූ හ.</verse>
				<verse number="16">එඬේරුන්ගේ නළා හඬ අසන පිණිස බැටළු පට්ටි අතරේ ඔව්හු කුමට සිටියෝ ද? රූබන් ගෝත්‍රය භේද භින්න වී දෙගිඩියාවෙන් පසු වූ හ.</verse>
				<verse number="17">ගිලියද් ගෝත්‍රය ජොර්දානෙන් එතෙර ද දාන් ගෝත්‍රය තණ බිම් අතර ද නතර වී වාසය කළහ: ආෂෙර් ගෝත්‍රය මුහුදු වෙරළේ ඔවුන්ගේ තොටුපොළවල් අතරේ සුව සේ වාසය කළෝ ය.</verse>
				<verse number="18">සාබුලොන් ගෝත්‍රයේ සෙනඟ මරණයට මුහුණ පෑ හ; නප්තලී ගෝත්‍රය ද රණ බිමට බට හ.</verse>
				<verse number="19">තයනාක්හි මෙගිද්දෝ ජලය ළඟ රජවරු යුද්ධ කළහ; කානානිය රජවරුන් යුද්ධ කළ නමුත් මුදල් කොල්ලයක් ඔවුන්ට නොලැබුණේ ය.</verse>
				<verse number="20">තාරකාවෝ අහසේ සිට යුද්ධ කළෝ ය; සිසෙරාට විරුද්ධ ව සිය කක්ෂයේ සිට යුද්ධ කළෝ ය.</verse>
				<verse number="21">කීෂොන් ගංගාව, ඒ පැරණි ගංගාව ඔවුන් ගසාගෙන ගියා ය. සවි ශක්තියෙන් මම ඉදිරිය ම බලා ගමන් කරමි.</verse>
				<verse number="22">එවිට පොළොව මත අඩි තළ තළා, අශ්වයෝ පැන පැන ගියහ.</verse>
				<verse number="23">‘සමිඳුන්ගේ උදව්වට සතුරන්ට විරෝධය පා ඉදිරියට නා බැවින් මෙරොස්හි වැසියන්ට සාප වේවා’යි සමිඳුන්ගේ දූතයා කී ය.</verse>
				<verse number="24">කේනීය හෙබෙර්ගේ බිරිඳ වන ජායෙල් අන් කතුන්ට වඩා ආසිරි ලද්දියක් වන්නී ය.</verse>
				<verse number="25">සිසෙරා වතුර ඉල්ලී ය, ඈ කිරි දුන්නා ය; අගනා තැටියක වෙඬරු දා ඔහුට ගෙනවුත් දුන්නා ය.</verse>
				<verse number="26">ඈ සිය වමතින් ඇණයක් ද දකුණතින් කම්කරු අතකොලුවක් ද රැගෙන අතකොලුවෙන් සිසෙරාට හිස සිදුරු වන්නට ගැසුවා ය. ඔහුගේ නළල සිදුරු කොට එය පොඩි කර දැම්මා ය.</verse>
				<verse number="27">ඇගේ පාමුල ඔහු කිඳා වැටුණේ ය, ඇද වැටුණේ ය, දිගා වුණේ ය. ඇගේ පාමුල ඔහු කිඳා වැටුණේ ය, ඇද වැටුණේ ය. කිඳා වැටුණු තැන ම ඔහු නැසුණේ ය.</verse>
				<verse number="28">සිසෙරාගේ මවු කවුළුව තුළින්, ගරාදි අතරෙන් එබී බැලුවා ය. ‘රථය මෙතෙක් කල් පමා වන්නේත්, රථයේ අශ්වයන් සුsනංගු වන්නේත් මන්දැ’යි සිතුවා ය.</verse>
				<verse number="29">ඇගේ නැණවත් කුලඟනෝ ඈට පිළිතුරු දුන්නෝ ය. එය ඈ තමා හට ම මෙසේ කියාගත්තා ය:</verse>
				<verse number="30">‘ඔවුන් කොල්ලය සොයනු ඇත. තමන් අතරේ බෙදා ගැනීමට, එකිනෙකාට තරුණියන් එක් කෙනෙකු හෝ දෙදෙනෙකු ද සිසෙරාට නානා වර්ණ වස්ත්‍රයක්, වයිවර්ණ ගෙත්තම් වස්ත්‍රයක් ද මාගේ ගෙල වටා දැමීමට ගෙත්කම් කළ සළුවක් හෝ දෙකක් ද ඔවුන් රැගෙන එනු ඇත.’</verse>
				<verse number="31">සමිඳුනි, ඔබේ සතුරෝ, මෙලෙස විනාශ වෙත් වා! එහෙත්, ඔබට ප්‍රේම කරන්නෝ විකුමෙන් නැඟී එන හිරු මෙන් වෙත් වා!” හතළිස් වසරක් මුළුල්ලේ දේශයේ සාමය ඇති විය.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය. ඒ නිසා සමිඳාණන් වහන්සේ මිදියන්වරුන් අතට ඔවුන් සත් අවුරුද්දකට පාවා දුන් සේක.</verse>
				<verse number="2">මිදියන්වරු ඉශ්රායෙල්වරුන්ට වඩා බලසම්පන්න වූ හ. මිදියන්වරුන්ගෙන් බේරෙන පිණිස ඉශ්රායෙල් සෙනඟ කඳුවිවරවල ගුහා ද කොටු ද පාවිච්චි කළහ.</verse>
				<verse number="3">ඉශ්රායෙල්වරුන් බීජ වැපුරූ හැම විට ම මිදියන්වරු ද අමලෙක්වරු ද පෙරදිග වැසියෝ ද ඔවුන්ට පහර දෙන්නට පැමිණියෝ ය.</verse>
				<verse number="4">ඔව්හු ඒ ප්‍රදේශයේ කඳවුරු බැඳ, ගාසා දොරටු දක්වා පොළොවේ භවභෝග නාස්ති කළෝ ය. ඔව්හු ආහාර වත්, එළු බැටළුවන් වත්, ගවයන් වත්, කොටළුවන් වත් ඉශ්රායෙල්වරුන්ට ඉතිරි නොකළෝ ය.</verse>
				<verse number="5">ඔව්හු තමන්ගේ ගවයන් ද කූඩාරම් ද ඇතිව පැමිණියෝ ය; ඔව්හු ද ඔවුන්ගේ ඔටුවෝ ද ගණන් කළ නොහැකි විශාල පළඟැටියන් සංබ්‍යාවක් මෙන් අවුත් දේශය විනාශ කරන පිණිස එයට ඇතුළු වුණෝ ය.</verse>
				<verse number="6">මිදියන්වරුන් නිසා ඉශ්රායෙල්වරු ඉතා දුඃඛිත තත්ත්වයකට පත් වුණෝ ය. එවිට ඉශ්රායෙල්වරු සමිඳාණන් වහන්සේට මොරගැසුවෝ ය.</verse>
				<verse number="7">මිදියන්වරුන් නිසා ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට මොරගැසූ කල,</verse>
				<verse number="8">උන් වහන්සේ දිවැසිවරයෙකු ඉශ්රායෙල් ජනයා වෙත එවූ සේක. ඔහු ඔවුන් අමතා, “ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ”යි කී ය. “මම නුඹලා මිසරයෙන් පිටතට ගෙනවුත්, වහල්කමේ නිවාසයෙන් පිටතට පැමිණෙව්වෙමි.</verse>
				<verse number="9">මිසරවරුන්ගේ අතින් ද නුඹලාට පීඩා කළ සියල්ලන්ගේ අතින් ද නුඹලා නිදහස් කර, නුඹලා ඉදිරියෙන් ඔවුන් පන්නා දමා ඔවුන්ගේ දේශය නුඹලාට දිනිමි.</verse>
				<verse number="10">මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ ය කියා ද, නුඹලා වාසය කළ දේශයේ සිටි අමෝරිවරුන්ගේ දෙවිවරුන්ට ගරුබිය නොදක්වන්න කියා ද මම නුඹලාට කීවෙමි. එහෙත්, නුඹලා මාගේ හඬට සවන් නොදෙන්නහු ය.”</verse>
				<verse number="11">සමිඳාණන් වහන්සේගේ දූතයා පැමිණ අබියෙශ්‍රීය ජෝවාෂ්ට අයත් ඔප්‍රාහි තිබෙන ආලෝන අරඹ යට හිඳ ගත්තේ ය. ජෝවාෂ්ගේ පුත් ගිඩියොන් මිදියන්වරුන්ගෙන් තිරිඟු සඟවාගන්න පිණිස ඒවා මුද්‍රික යන්ත්‍රයෙහි මඬිමින් සිටියේ ය.</verse>
				<verse number="12">සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහුට පෙනී, “ධෛර්යවත්, බලවත් මනුෂ්‍යය, සමිඳාණන් වහන්සේ ඔබ සමඟ සිටින සේකැ”යි කී ය.</verse>
				<verse number="13">ගිඩියොන් ඔහුට කතා කරමින්, “අහෝ මාගේ ස්වාමීනි, සමිඳාණන් වහන්සේ අප සමඟ සිටින සේක් නම්, මේ සියල්ල අපට සිදු වී තිබෙන්නේ කුමක්නිසා ද? ‘සමිඳාණන් වහන්සේ අප මිසරයෙන් ගෙනා සේකැ’යි කියමින් අපේ පියවරුන් අපට මතක් කර දුන් උන් වහන්සේගේ සියලු පුදුම ක්‍රියා කොහේ ද? දැන් නම්, සමිඳාණන් වහන්සේ අප අත්හැරදමා, මිදියන්වරුන් අතට අප පාවා දී ඇතැ”යි කීවේ ය.</verse>
				<verse number="14">සමිඳාණන් වහන්සේ ඔහු දෙස බලා, “නුඹට ඇති බලසම්පන්නකම මෙහෙයවා, මිදියන්වරුන් අතින් ඉශ්රායෙල්වරුන් ගළවන්න. නුඹ යවන්නේ මම ය”යි වදාළ සේක.</verse>
				<verse number="15">ගිඩියොන් උන් වහන්සේට පිළිතුරු දෙමින්, “අහෝ, ස්වාමීනි, මා ඉශ්රායෙල්වරුන් ගළවාගන්නේ කෙසේ ද? බලන්න, මාගේ පවුල මනස්සේ ගෝත්‍රයෙහි ඇති ඉතා දුබල පවුල ය; මම ද ඒ පවුලේ ඉතා ම සුළු තැනැත්තා වෙමි”යි කීවේ ය.</verse>
				<verse number="16">සමිඳාණන් වහන්සේ ද, “සැබැවින් මම නුඹ සමඟ සිටින්නෙමි. නුඹ එක් කෙනෙකුට පහර දෙන්නාක් මෙන් මිදියන්වරුන්ට පහර දෙන්නෙහි යැ”යි ඔහුට වදාළ සේක.</verse>
				<verse number="17">ඔහු උන් වහන්සේට පිළිතුරු දෙමින්, “ඔබ වහන්සේ ඉදිරියෙහි මට ප්‍රසාදය ලැබී තිබේ නම්, ඔබ මා සමඟ කතා කරන බවට ලකුණක් මට පෙන්වුව මැනව.</verse>
				<verse number="18">ඔබ වෙත මාගේ පූජාව ගෙනවුත් එය ඔබ ඉදිරියේ තබන තෙක් මෙතැනින් නොගිය මැනවැ”යි කී ය. උන් වහන්සේ ද, “නුඹ පෙරළා එන තුරු මම නැවතී සිටින්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="19">ගිඩියොන් ඇතුළට ගොස්, එළු පැටවෙකු ද කිලෝග්‍රෑම් දහයක් පමණ පිටිවලින් මුහුන් නොදැමූ රොටි ද සූදානම් කොට, පෙට්ටියක මස් දමා, භාජනයක සොදි වත්කොට, ආලෝන ගස යටට ගෙන උන් වහන්සේට ඔප්පු කෙළේ ය.</verse>
				<verse number="20">දෙවියන් වහන්සේගේ දූතයා, “මස් සහ මුහුන් නොදැමූ රොටි ගෙන මේ ගල පිට තබා සොදි වත් කරන්නැ”යි ඔහුට කී ය. ඔහු එසේ කෙළේ ය.</verse>
				<verse number="21">එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා තමාගේ අතේ තිබූ සැරයටියේ අග දිගු කොට මස්වලටත්, මුහුන් නොදැමූ රොටිවලටත් තට්ටු කෙළේ ය. එවිට පර්වතයෙන් ගිනි මතු වී මස් ද මුහුන් නොදැමූ රොටි ද දවා දැමී ය: සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහු ඉදිරියෙන් නොපෙනී ගියේ ය.</verse>
				<verse number="22">ගිඩියොන් දුටුවේ, සමිඳාණන් වහන්සේගේ දූතයා බව ඔහුට පෙනී ගිය විට, “මහෝත්තම දෙවි සමිඳාණන් වහන්ස, මම සමිඳාණන් වහන්සේගේ දූතයා මුහුණට මුහුණ ලා දිටිමි”යි කී ය.</verse>
				<verse number="23">සමිඳාණන් වහන්සේ, “නුඹට සාමදානය වේ වා! බිය නොවන්න; නුඹ නසින්නේ නැතැ”යි ඔහුට වදාළ සේක.</verse>
				<verse number="24">එවිට ගිඩියොන් එහි සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනඟා, ‘සමිඳාණන් වහන්සේ සාමදානය ය’ යන අර්ථය ඇති ‘යාවේ-ෂාලොම්’ යන නාමය ඊට තැබුවේ ය. එය අද දවස දක්වා අබියෙශ්‍රීයවරුන්ට අයිති ඔප්‍රාහි තිබේ.</verse>
				<verse number="25">එදා ම රාත්‍රියේ සමිඳාණන් වහන්සේ ගිඩියොන්ට කතා කොට, “නුඹේ පියාට අයිති ගොනා එනම්, සත් අවුරුදු වයස් ඇති දෙ වන ගොනා ගෙන ගොස්, නුඹේ පියාට අයිති බාල් දෙවියාගේ පූජාසනය කඩා දමා, ඒ ළඟ තිබෙන අෂේරා කප් කණු කපා දමන්න.</verse>
				<verse number="26">මේ බලකොටුව මුදුනේ නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට පූජාසනයක් නිසි පිළිවෙළට සාදා, ගොනා ගෙන, නුඹ කපා දමන අෂේරා කප් ලීවලින් ඌ දවන යාග පූජාවක් කොට ඔප්පු කරන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="27">එවිට ගිඩියොන් සිය වැඩකාරයන්ගෙන් දසදෙනෙකු කැඳවාගෙන, සමිඳාණන් වහන්සේ ඔහුට වදාළ ලෙස කෙළේ ය. ඔහු තමාගේ පියාගේ ගෙවැසියන් නිසාත්, නගර වැසියන් නිසාත් එය දවාලේ කරන්නට බිය වී රාත්‍රියේ කෙළේ ය.</verse>
				<verse number="28">නගර වැසියෝ අලුයම අවදි වූ විට, බාල්ගේ පූජාසනය කඩා තිබෙන බවත්, ඒ ළඟ තිබුණු අෂේරා කප් කණු කපා, ගොඩනඟා තිබුණු පූජාසනය මත ගොනා පූජා කර තිබුණු බවත් දුටුවෝ ය.</verse>
				<verse number="29">මෙය කෙළේ කවරෙක් දැ යි එකිනෙකාගෙන් අසා විමසූ කල, “ජෝවාෂ්ගේ පුත් ගිඩියොන් එය කෙළේ යැ”යි ඔවුන්ට කියන ලද්දේ ය.</verse>
				<verse number="30">එවිට නගර වැසියෝ ජෝවාෂ්ට කතා කොට, “ඔබේ පුතා බාල් දෙවියාගේ පූජාසනය කඩා දැමූ නිසා ද ඒ ළඟ තිබුණු අෂේරා කප් කණු කැපූ නිසා ද ඔහු මරන පිණිස පිටතට ගෙනෙන්නැ”යි කීවෝ ය.</verse>
				<verse number="31">ජෝවාෂ් ද ඔහුට විරුද්ධ ව සිටි සියලු දෙනාට කතා කොට, “ඔබ බාල් උදෙසා කරුණු කියන්නහු ද, නොහොත් ඔහු ගළවාගන්නට උත්සාහ කරන්නහු ද? බාල් උදෙසා කරුණු කියන්නට කැමැති තැනැත්තේ එළි වන්නට පෙර මරනු ලැබේ වා. බාල් දෙවි කෙනෙක් නම්, ඔහුගේ පූජාසනය යමෙකු කඩා දමා තිබෙන නිසා ඔහු ම තමා උදෙසා කරුණු කියා වා”යි කීවේ ය.</verse>
				<verse number="32">“බාල්ගේ පූජාසනය කඩා දැමූ නිසා බාල් ම තමා උදෙසා කරුණු කියා වා”යි ඒ දවසේ දී කියූ ජෝවාෂ් ‘බාල් ම තමාගේ ම විත්තිකාරයා ය’ යන අර්ථය ඇති ජෙරුබ්බාල් යන නම ගිඩියොන්ට තැබුවේ ය.</verse>
				<verse number="33">එවිට සියලු මිදියන්වරු ද අමලෙක්වරු ද පෙරදිග වැසියෝ ද එකට රැස් ව ජොර්දාන් ගඟෙන් මෙගොඩට අවුත්, ජෙශ්‍රෙයෙල් මිටියාවතෙහි කඳවුරු බැඳගත්තෝ ය.</verse>
				<verse number="34">සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ගිඩියොන් කෙරෙහි පහළ වූයේ ය; ඔහු හොරණෑව පිම්බේ ය; එවිට අබියෙශ්‍රීයවරු ඔහු ළඟට රැස් වූ හ.</verse>
				<verse number="35">ඔහු මනස්සේ ගෝත්‍රය මුළුල්ලෙහි පණිවුඩකාරයන් යැවී ය; ඔව්හු ද ඔහු ළඟට රැස් වූ හ. ඔහු ආෂෙර්වරුන් ද සාබුලොන්වරුන් ද නප්තලීවරුන් ද වෙතටත් පණිවුඩකාරයන් යැවී ය. ඔව්හු ද ඔහු හමු වන පිණිස පැමිණියෝ ය.</verse>
				<verse number="36">ගිඩියොන් දෙවියන් වහන්සේට කතා කොට, “ඔබ වහන්සේ වදාළ ලෙස මා ලවා ඉශ්රායෙල් ජාතිය ගළවන සේක් නම්,</verse>
				<verse number="37">මෙන්න මම, බැටළු ලොම් මිටියක් කමතේ තබන්නෙමි; මුළු බිම වියළී තිබියදී, ලොම් මිටිය පිට පමණක් පිනි තිබුණොත්, ඔබ වහන්සේ වදාළ ලෙස මා ලවා ඉශ්රායෙල් ජාතිය ගළවන බව එයින් මම දැනගන්නෙමි”යි කීවේ ය.</verse>
				<verse number="38">එය එසේ ම සිදු විය. ඔහු පසු දා අලුයම නැඟිට බඳුනක් පිරෙන තරමට වතුර ලොම් මිටියෙන් මිරිකා හැරියේ ය.</verse>
				<verse number="39">යළිත් ගිඩියොන් දෙවියන් වහන්සේට කතා කොට, “ඔබ වහන්සේගේ උදහස මට විරුද්ධ ව නොඇවිළේ වා! තව එක වරක් කතා කරන්නට මට අවසර දුන මැනව. ලොම් මිටියෙන් තව එක් වතාවක් පමණක් මට අත්හදා බලන්නට අවසර ලැබේ වා. මුළු බිම පිට පිනි තිබියදී ලොම් මිටිය පමණක් වියළී තිබේ වා”යි කී ය.</verse>
				<verse number="40">දෙවියන් වහන්සේ ඒ රාත්‍රියේ එසේ කළ සේක. මුළු බිම පිට පිනි තිබියදී ලොම් මිටිය පමණක් වියළී තිබුණේ ය.</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">ජෙරුබ්බාල් නම් ගිඩියොන් ද ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද අලුයම් වේලෙහි නැඟිට හාරොද්හි උල්පත ළඟ කඳවුරු බැඳගත්තෝ ය. ඔවුන්ට උතුරෙන් මිදියන්වරුන්ගේ කඳවුරු මොරේගේ කන්ද ළඟ මිටියාවතෙහි තිබුණේ ය.</verse>
				<verse number="2">එවිට සමිඳාණන් වහන්සේ ගිඩියොන්ට කතා කොට, “මිදියන්වරුන් නුඹ අතට පාවා දීමට නුඹ සමඟ සිටින සෙනඟගේ ගණන වැඩි ය, මා එසේ කළොත්, ‘අපේ ශක්තියෙන් ම අපි ගැළවුණෙමු’යි ඉශ්රායෙල් සෙනඟ මට ගෞරවය නොදී අහංකාර වනු ඇත.</verse>
				<verse number="3">එබැවින්, ‘භය ද තැතිගැනීම ද ඇති අය ගිලියද් කන්දේ සිට හැරී යත් වා’යි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නැ”යි වදාළ සේක. එවිට සෙනඟගෙන් විසිදෙදහසක් හැරී ගියෝ ය. දසදහසක් ඉතිරි ව සිටියෝ ය.</verse>
				<verse number="4">සමිඳාණන් වහන්සේ ගිඩියොන්ට කතා කොට, “සෙනඟගේ ගණන තවමත් වැඩි ය. ඔවුන් වතුර සමීපයට ගෙන එන්න, එහි දී මම ඔවුන් වෙන් කොට ඔබට තෝරා දෙන්නෙමි. ‘මොහු නුඹ සමඟ යා යුතු ය’යි මම යමෙකු ගැන නුඹට කියන්නෙම් ද ඔහු යන්නේ ය. ‘මොහු නුඹ සමඟ නොයා යුතු ය’යි මම යමෙකු ගැන නුඹට කියන්නෙම් ද ඔහු නොයන්නේ යැ”යි වදාළ සේක.</verse>
				<verse number="5">ගිඩියොන් සෙනඟ වතුර ළඟට ගෙනාවේ ය. සමිඳාණන් වහන්සේ ගිඩියොන්ට කතා කොට, “බල්ලෙකු ලෙවකා බොන ලෙස තමන්ගේ දිවෙන් ලෙවකා වතුර බොන හැම දෙන ද වතුර බොන්නට දණ ගසන හැම දෙන ද වෙන වෙන ම සිටුවන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="6">තමන්ගේ අතට වතුර ගෙන ලෙවකා බිව් අය තුන්සියයක් වූ හ; සෙසු සියල්ලෝ වතුර බොන පිණිස දණ ගැසුවෝ ය.</verse>
				<verse number="7">සමිඳාණන් වහන්සේ ද, “ලෙවකා වතුර බීවාවූ මිනිස්සු තුන්සියය ලවා නුඹලා ගළවා මිදියන්වරුන් නුඹේ අතට පාවා දෙන්නෙමි. සෙසු සියල්ලෝ තම තමන්ගේ නිවෙස්වලට යත් වා”යි ගිඩියොන්ට වදාළ සේක.</verse>
				<verse number="8">ගිඩියොන් ඒ මිනිසුන් තුන්සියය නවත්වාගෙන සෙසු සියලු ඉශ්රායෙල්වරුන් තම තමන්ගේ කූඩාරම්වලට යන්නට හැරියේ ය. ඔවුන්ගේ කෑම භාජනත්, හොරණෑත් ඔහු තබා ගත්තේ ය. මිදියන්වරුන්ගේ කඳවුර ඔහුට පහළින් මිටියාවතේ තිබුණේ ය.</verse>
				<verse number="9">එදා රෑ සමිඳාණන් වහන්සේ ගිඩියොන්ට කතා කොට, “නැඟිට කඳවුරට පහර දෙන්න; මම ඔවුන් නුඹේ අතට පාවා දෙන්නෙමි.</verse>
				<verse number="10">එහෙත්, නුඹ පහර දෙන්නට භය නම්, නුඹේ මෙහෙකරුවා වන පූරා සමඟ කඳවුරට බැස යන්න.</verse>
				<verse number="11">එවිට ඔවුන් කියන දේ නුඹට ඇසෙන විට කඳවුරට පහර දෙන්නට නුඹ ධෛර්යවත් වන්නෙහි ය”යි වදාළ සේක. එවිට ගිඩියොන් තම මෙහෙකරු පූරා සමඟ කඳවුරේ මුර පොළේ අවි ගත් මිනිසුන් වෙත බැස ගියේ ය.</verse>
				<verse number="12">මිදියන්වරු ද අමලෙක්වරු ද පෙරදිග සියලු වැසියෝ ද පළඟැටි සමූහයක් මෙන් විශාල ගණනක් මිටියාවතේ පැතිර සිටියෝ ය. ඔවුන්ගේ ඔටුවෝ ද මුහුදු වෙරළේ වැලි මෙන් ගණන් කළ නොහැකි විශාල ගණනක් වූ හ.</verse>
				<verse number="13">ගිඩියොන් එතැනට පැමිණි විට එක් මිනිසෙක් තවත් මිනිසෙකුට තමා දුටු සිහිනයක් ගැන කියමින්, “මම සිහිනයක් දිටිමි. යව රොටියක් මිදියන්වරුන්ගේ කඳවුරට පෙරළීගෙන අවුත් කූඩාරම දක්වා පැමිණ, එයට හැපී, එය ඊට පහර දී, එය පෙරළා දමා තිබෙනු දිටිමි”යි කීවේ ය.</verse>
				<verse number="14">අනෙක් තැනැත්තා පිළිතුරු දෙමින්, “මෙය ඉශ්රායෙල් වැසියෙකු වන ජෝවාෂ්ගේ පුත් ගිඩියොන්ගේ කඩුව මිස අනෙකක් නොවේ. ඔහු අතට දෙවියන් වහන්සේ මිදියන්වරුන් ද සියලු සේනාව ද පාවා දී තිබේ යැ”යි කීවේ ය.</verse>
				<verse number="15">මෙසේ කියන ලද සිහිනය ද එහි තේරුම ද ගිඩියොන් ඇසූ විට, ඔහු නමස්කාර කොට, ආපසු ඉශ්රායෙල් කඳවුරට ගොස්, “නැඟිටින්න; මන්ද, සමිඳාණන් වහන්සේ මිදියන් සේනාව ඔබ අතට පාවා දුන් සේකැ”යි කීවේ ය.</verse>
				<verse number="16">ඔහු ඒ මිනිසුන් තුන්සියදෙනා කණ්ඩායම් තුනකට බෙදා ඔවුන් සියල්ලන් අතට හොරණෑ ද ඇතුළේ පන්දම් ඇති හිස් කළගෙඩි ද දී,</verse>
				<verse number="17">ඔවුන්ට කතා කොට, “මා කරන හැටි බලා එයාකාර ව කරන්න. මා කඳවුර අද්දරට පැමිණි විට මා කරන හැටියට ඔබත් කරන්න.</verse>
				<verse number="18">මාත්, මා සමඟ සිටින සියලු දෙනාත් හොරණෑ පිඹින විට, ඔබත් මුළු කඳවුර වට කරමින් හොරණෑ පිඹිමින්, ‘සමිඳාණන් වහන්සේ සහ ගිඩියොන් උදෙසා ය’ කියා මොරගසන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="19">මෙසේ මධ්‍යම රාත්‍රියේ, මුර මාරු කළ මුල් අවස්ථාවේ දී ම ගිඩියොන් ද ඔහු සමඟ සිටි මිනිස්සු සියදෙනා ද කඳවුර අද්දරට පැමිණ හොරණෑ පිඹ, තමන්ගේ අත්වල තිබූ කළගෙඩි බින්දෝ ය.</verse>
				<verse number="20">කණ්ඩායම් තුන ම හොරණෑ පිඹ, කළගෙඩි බිඳ දමා, වමතින් පන්දම් ද පිඹින පිණිස දකුණතින් හොරණෑ ද රැගෙන, “සමිඳාණන් වහන්සේගේ ද ගිඩියොන්ගේ ද කඩුව යැ”යි මොරගැසුවෝ ය.</verse>
				<verse number="21">ඔව්හු සියල්ලෝ ම කඳවුර වටේ එකිනෙකා තම තමන්ගේ ස්ථානයේ සිටියෝ ය. මුළු සේනාව ද කෑගසමින් පලා ගියෝ ය.</verse>
				<verse number="22">ඔව්හු හොරණෑ තුන්සියය පිම්බෝ ය. එවිට සමිඳාණන් වහන්සේ කඳවුරේ සිටි අය එකිනෙකා තම තමාගේ කඩුවෙන් අනෙකාට පහර දෙන්නට සැලැස්සූ සේක. සේනාව ද ශෙරේරා දෙසට බෙත්-ෂිට්ටා දක්වා ද ටබ්බාත් ළඟ තිබෙන ආබෙල්-මෙහෝලාහි සීමාව දක්වා ද පලා ගියෝ ය.</verse>
				<verse number="23">නප්තලී ගෝත්‍රයෙන් ද ආෂෙර් ගෝත්‍රයෙන් ද මුළු මනස්සේ ගෝත්‍රයෙන් ද ඉශ්රායෙල් සෙනඟ රැස් ව මිදියන්වරුන් පස්සේ එළවාගෙන ගියෝ ය.</verse>
				<verse number="24">ගිඩියොන් එප්‍රායිම් කඳු රට මුළුල්ලේ ම පණිවුඩකාරයන් යවා, “මිදියන්වරුන්ට විරුද්ධ ව අවුත්, ඔවුන් එන්නට පළමුවෙන් බෙත්-බාරා දක්වා ජොර්දාන් ගඟේ තොටුපොළවල් අල්ලාගන්නැ”යි කියා යැවී ය. එවිට එප්‍රායිම්හි සියලු මිනිස්සු රැස් ව බෙත්-බාරා දක්වා ජොර්දාන් තොටුපොළවල් අල්ලාගත්තෝ ය.</verse>
				<verse number="25">ඔව්හු මිදියන්වරුන්ගේ අධිපතීන් දෙදෙනා වන ඔරෙබ් ද ශීබ් ද අල්ලාගෙන, ඔරෙබ් නම් පර්වතය ළඟ දී ඔරෙබ් ද ශීබ්හි ඇති මිදි යන්ත්‍රය ළඟ දී ශීබ් ද මරාදමා, මිදියන්වරුන් පස්සේ එළවාගෙන ගියෝ ය. ඔව්හු ඔරෙබ්ගේ ද ශීබ්ගේ ද හිස් දෙක ජොර්දානෙන් එතෙර සිටි ගිඩියොන් වෙත ගෙනාවෝ ය.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">එප්‍රායිම් වැසියෝ ගිඩියොන්ට කතා කොට, “ඔබ මිදියන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට යන කල අපට අඬ නොගසා මෙසේ කෙළේ මන්දැ”යි ඔහුට තද ලෙස දොස් පැවරූ හ.</verse>
				<verse number="2">ඔහු පිළිතුරු දෙමින්, “ඔබ හැම කළ දේට සමාන කළ විට මා කළ දේ කුමක් ද? එප්‍රායිම් ගෝත්‍රයට අයත් ඔබ කළ සුළු දේ අබියෙශෙර් නම් මාගේ ගෝත්‍රය කළ සියල්ලට වඩා වටිනවා නොවේ ද?</verse>
				<verse number="3">ඔබ අතට දෙවියන් වහන්සේ මිදියන්හි අධිපතීන් වන ඔරෙබ් ද ශීබ් ද පාවා දුන් සේක. ඔබ කළ දේට සමාන ව මට කරන්නට හැකි වූයේ කිමෙක් දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. ඔහු එසේ කී කල ඔහු කෙරෙහි තිබුණ ඔවුන්ගේ කෝපය සංසිඳුණේ ය.</verse>
				<verse number="4">ගිඩියොන් සහ ඔහුගේ මිනිස්සු තුන්සියදෙනා ජොර්දාන් ගඟ ළඟට පැමිණ එයින් එතෙර වූ හ. ඔව්හු අධික වෙහෙසට පත් වී සිටිය නමුත්, එතෙක් සතුරන් ලුහුබැඳ ගියෝ ය.</verse>
				<verse number="5">ගිඩියොන් සුක්කොත්හි මිනිසුන්ට කතා කොට, “මා කැටුව යන මිනිසුන් අධික වෙහෙසට පත් ව සිටින බැවින් ඔවුන්ට රොටි දුන මැනව; මම මිදියන්හි රජවරුන් වන ශෙබා ද ශල්මුන්නා ද ලුහුබැඳ යමි”යි කීවේ ය.</verse>
				<verse number="6">සුක්කොත්හි අධිපතීහු, “අප විසින් ඔබේ සේනාවට කෑම දෙනු ලබන පිණිස ශෙබා ද ශල්මුන්නා ද දැන් ඔබේ අතට අසු වී සිටිත් දැ”යි ඇසූ හ.</verse>
				<verse number="7">“සමිඳාණන් වහන්සේ ශෙබා ද ශල්මුන්නා ද මා අතට පාවා දුන් විට මම ඔබ හැමගේ මාංසය වනයේ කටුවලින් ද ගොකටුවලින් ද ඉරා දමන්නෙමි”යි ගිඩියොන් ඔවුන්ට කීවේ ය.</verse>
				<verse number="8">ගිඩියොන් එතැනින් පෙනුයෙල්ට ගොස් එහි වැසියන්ගෙන් ද එසේ ම ඉල්ලුවේ ය. ඔව්හු ද සුක්කොත්හි වැසියන් උත්තර දුන් ලෙස ම ඔහුට උත්තර දුන්නෝ ය.</verse>
				<verse number="9">ඔහු පෙනුයෙල්හි මිනිසුන්ට කතා කොට, “මම ජයාන්විත ව ආපසු ආ විට මේ බලකොටුව බිඳ දමන්නෙමි”යි කී ය.</verse>
				<verse number="10">ශෙබා ද ශල්මුන්නා ද පසළොස්දහසක් දෙනාගෙන් සමන්විත වූ ඔවුන්ගේ සේනාව සමඟ කර්කොර්හි සිටියෝ ය. පූර්ව දිශාවේ වැසියන්ගෙන් ඉතිරි වූයේ මේ අය පමණකි. මන්ද, යුද්ධයේ දී එකසිය විසිදහසක් දෙනා නැසුණෝ ය.</verse>
				<verse number="11">ගිඩියොන් නොබාට ද ජොග්බෙහාට ද පෙරදිගින්, කූඩාරම්වල වාසය කරන්නන්ගේ පාරෙන් ගොස්, සේනාව පරීක්ෂාකාරී ව නොසිටිය දී ඔවුන්ට පහර දුන්නේ ය.</verse>
				<verse number="12">ශෙබා ද ශල්මුන්නා ද පලා ගියෝ ය. ඔහු ඔවුන් පසුපස ලුහුබැඳ ගොස් මිදියන් රජ වන ශෙබා ද ශල්මුන්නා ද අල්ලාගත්තේ ය. ඔහු මුළු සේනාව ද භයගන්වා විසුරුවා හැරියේ ය.</verse>
				<verse number="13">ඉන්පසු ජෝවාෂ්ගේ පුත් ගිඩියොන් හෙරෙස් දුර්ගමාර්ගයෙන් ගමන් කර අවුත්,</verse>
				<verse number="14">සුක්කොත්හි තරුණයෙකු අල්ලාගෙන ඔහුගෙන් තොරතුරු විචාළේ ය. ඔහු සැත්තෑසත්දෙනෙකුන් වන සුක්කොත්හි අධිපතීන් ද ප්‍රජා මූලිකයන් ද ගැන විස්තර ලියා දුන්නේ ය.</verse>
				<verse number="15">ගිඩියොන් සුක්කොත්හි වැසියන් ළඟට අවුත්, ඔවුන්ට කතා කොට, “ඔබ මට සරදම් කළ අවස්ථාව සිහි කරන්න. ‘වෙහෙස වූ ඔබේ මිනිසුන්ට, අප විසින් කෑම දෙනු ලබන පිණිස ශෙබා ද ශල්මුන්නා ද ඔබේ අතට අසු ව සිටිත් දැ’යි ඔබ කීවහු ය. ඒ ශෙබා ද ශල්මුන්නා ද මෙන්න, බලන්නැ”යි කී ය.</verse>
				<verse number="16">ඔහු නගරයේ ප්‍රජා මූලිකයන් අල්ලා වනයේ කටු ගස් ද ගොකටු ද රැගෙන එයින් සුක්කොත්හි මිනිසුන් මට්ටු කෙළේ ය.</verse>
				<verse number="17">ඔහු පෙනුයෙල්හි බලකොටුව ද කඩා දමා නගරයේ වැසියන් මැරුවේ ය.</verse>
				<verse number="18">එවිට ගිඩියොන් ශෙබාට හා ශල්මුන්නාට කතා කොට, “ඔබ තාබෝර්හි මැරූ අය කොයි ආකාර මිනිස්සු දැ”යි ඇසුවේ ය. ඔව්හු පිළිතුරු දෙමින්, “ඒ අය ඔබ වාගේ ය. එකිනෙකා පෙනීමෙන් රාජ කුමාරයන්ට සමාන ය”යි කීවෝ ය.</verse>
				<verse number="19">ගිඩියොන් ද, “ඔව්හු මාගේ සහෝදරයෝ ය, මාගේ මෑණියන්ගේ පුත්‍රයෝ ය. ඔබ ඔවුන් නොමැරුවහු නම්, මමත් ඔබ නොමරමි යි ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි”යි කීවේ ය.</verse>
				<verse number="20">ඔහු තමාගේ කුලුඳුල් පුත් ජෙතෙර්ට, “නැඟිට ඔවුන් මරන්නැ”යි කී ය. එහෙත්, ඒ තරුණයා බිය වී කඩුව නොඇද සිටියේ ය. මන්ද, ඔහු ඒ තාක් තරුණයෙකු ව සිටි බැවිනි.</verse>
				<verse number="21">එවිට ශෙබා ද ශල්මුන්නා ද කතා කොට, “ඔබ ම නැඟිට අප මරන්න. මන්ද, ලොකු මිනිසෙකු කළ යුතු දේ ලොකු මිනිසෙකු ම කළ යුතු ය”යි කීවෝ ය. ගිඩියොන් නැඟිට ශෙබා ද ශල්මුන්නා ද මරා, ඔවුන්ගේ ඔටුවන්ගේ කරේ තිබුණ අඩ සඳාකාර ආභරණ ගත්තේ ය.</verse>
				<verse number="22">ඉශ්රායෙල් ජනයා ගිඩියොන්ට කතා කොට, “ඔබ ද ඔබේ පුත්‍රයා ද ඔබේ පුත්‍රයාගේ පුත්‍රයා ද අප කෙරෙහි ආණ්ඩු කළ යුතු ය. මන්ද, ඔබ මිදියන්වරුන්ගේ අතින් අප ගළවා ගත්තෙහි යැ”යි කී හ.</verse>
				<verse number="23">ගිඩියොන් පිළිතුරු දෙමින්, “මම ඔබ කෙරෙහි ආණ්ඩු නොකරන්නෙමි; මාගේ පුත්‍රයා වත් ඔබ කෙරෙහි ආණ්ඩු නොකරන්නේ ය; සමිඳාණන් වහන්සේ ඔබ කෙරෙහි ආණ්ඩු කරන සේකැ”යි කීවේ ය.</verse>
				<verse number="24">ගිඩියොන් තවදුරටත් කතා කරමින්, “මම ඔබ හැමගෙන් ඉල්ලීමක් කරමි. ඔබ එකිනෙකා කොල්ලකෑ කුණ්ඩලාභරණ මට දෙන්නැ”යි කීවේ ය. ඔහු එසේ කීවේ, සතුරන් ඉෂ්මායෙල්වරුන් බැවින් ඔවුන්ට රන් කුණ්ඩලාභරණ තිබුණ නිසා ය.</verse>
				<verse number="25">ඔව්හු, “අපි ඒවා කැමැත්තෙන් ම දෙමු”යි පිළිතුරු දී වස්ත්‍රයක් අතුරා එක් එක්කෙනා කොල්ලකෑ කුණ්ඩලාභරණ එහි දැමුවෝ ය.</verse>
				<verse number="26">මිදියන්හි රජු පැළඳ සිටි අඩ සඳ වැනි ආභරණ ද කර්ණාභරණ ද රත් නිල් වස්ත්‍ර ද ඔවුන්ගේ ඔටුවන්ගේ කර වටා තිබුණ මාල ද හැර ඔහු ඉල්ලා ගත් රන් කුණ්ඩලාභරණවල බර රන් කිලෝග්‍රෑම් විස්සක් පමණ විය.</verse>
				<verse number="27">ගිඩියොන් එයින් පිළිමයක් සාදා එය තමාගේ නගරය වූ ඔප්‍රාහි පිහිටෙවුවේ ය. ඉශ්රායෙල්වරු සියලු දෙනා සමිඳාණන් වහන්සේට අවිශ්වාසවන්ත වී ඒ පිළිමය වැළඳගත්හ. එය ගිඩියොන්ටත්, ඔහුගේ පවුලටත් මලපතක් මෙන් විය.</verse>
				<verse number="28">මෙසේ මිදියන්වරු ඉශ්රායෙල් සෙනඟ විසින් යටත් කරනු ලැබූ හ: ඉන්පසු ඔවුන්ට බලය පාන්නට නොහැකි විය. ගිඩියොන්ගේ පාලන කාලයේ දී දේශයේ සතළිස් අවුරුද්දක් සාමය පැවතුණේ ය.</verse>
				<verse number="29">ජෝවාෂ්ගේ පුත් ජෙරුබ්බාල් හෙවත් ගිඩියොන් තමාගේ ම ගෙදරට ගොස් එහි වාසය කෙළේ ය.</verse>
				<verse number="30">ගිඩියොන්ට දාව උපන් පුත්‍රයෝ හැත්තෑදෙනෙක් වූ හ. එසේ වූයේ, ඔහුට බොහෝ භාර්යාවන් සිටි බැවිනි.</verse>
				<verse number="31">ෂෙකෙම්හි ඔහුට උපභාර්යාවක් ද සිටියා ය. ඇගෙන් ඔහුට පුත්‍රයෙක් ලැබුණේ ය. ඔහු ඔහුට අබිමෙලෙක් යන නම තැබී ය.</verse>
				<verse number="32">ජෝවාෂ්ගේ පුත් ගිඩියොන් දීර්ඝායු වළඳා මියගොස්, අබියෙශ්‍රීවරුන්ට අයත් ඔප්‍රාහි තමාගේ පියා වූ ජෝවාෂ්ගේ සොහොන් ගෙහි තැන්පත් කරනු ලැබුවේ ය.</verse>
				<verse number="33">ගිඩියොන් මියගිය පසු ඉශ්රායෙල් ජනයා යළිත් වහා ම සමිඳාණන් වහන්සේට අවිශ්වාසවන්ත වී බාල් දේවතාවා වැළඳ ගෙන ඔහුට නමස්කාර කරන්නට පටන්ගෙන බාල්-බෙරිත් තමන්ට දෙවි ලෙස තබා ගත්තෝ ය.</verse>
				<verse number="34">ඔවුන් වට කර සිටි සියලු සතුරන්ගේ අත්වලින් ඔවුන් ගළවා ගත් ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔව්හු අමතක කළෝ ය.</verse>
				<verse number="35">එපමණක් නොව, ජෙරුබ්බාල් හෙවත් ගිඩියොන් ඉශ්රායෙල් ජනයාට කළ සියලු යහපත් දේට ඔබින ලෙස ඔහුගේ පවුලට ඔව්හු කෙළෙහිගුණ ද නොදැක්වූ හ.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">ජෙරුබ්බාල්ගේ පුත් අබිමෙලෙක් ෂෙකෙම්හි සිටි තමාගේ මවගේ සහෝදරයන් ළඟට ගොස්, ඔවුන්ටත්, තමාගේ මවගේ පිය වංශයේ මුළු පවුලටත් කතා කොට,</verse>
				<verse number="2">“ෂෙකෙම්හි සියලු වැසියන්ගෙන් මෙසේ ප්‍රශ්න කරන්න, ‘ඔබට වඩා හොඳ සේ පෙනෙන්නේ කුමක් ද? ජෙරුබ්බාල්ගේ සියලු පුත්‍රයන් එනම්, සැත්තෑදෙනෙකු ඔබ කෙරෙහි අධිපතිකම් කිරීම ද නැතහොත් එක් කෙනෙකු අධිපතිකම් කිරීම ද?’ මා වනාහි ඔබේ ම ලේ නෑයෙකු බවත් සිහි කරන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="3">ඔහුගේ මවගේ සහෝදරයෝ ඔහු වෙනුවෙන් ෂෙකෙම්හි සියලු වැසියන් සමඟ මේ කරුණ ගැන කතා කළහ. ඔව්හු අබිමෙලෙක් අනුගමනය කරන්නට තීරණය කරගත්හ. ඔවුන් එසේ කෙළේ, ඔහු ඔවුන්ගේ ම ඥාතියෙකු වන බැවිනි.</verse>
				<verse number="4">තවද, ඔව්හු බාල්-බෙරිත්ගේ දේවාලයෙන් රිදී මිල සැත්තෑවක් ඔහුට දුන්නෝ ය. එයින් අබිමෙලෙක් තමා කැටුව යන පිණිස කමකට නැති චණ්ඩි මිනිසුන් කුලියට ගත්තේ ය.</verse>
				<verse number="5">ඔහු ඔප්‍රාහි තමාගේ පියාගේ ගෙදරට ගොස් ජෙරුබ්බාල්ගේ පුත්‍රයන් වන තමාගේ ම සහෝදරයන් සැත්තෑදෙනා එක ගලක් මත මැරුවේ ය. එහෙත්, ජෙරුබ්බාල්ගේ බාල ම පුත්‍රයා වන ජෝතාම් සැඟ වී සිටි බැවින් නොමැරී බේරුණේ ය.</verse>
				<verse number="6">ඉන්පසු ෂෙකෙම්හි සියලු වැසියෝ ද මිල්ලෝහි සියලු වැසියෝ ද එක් ව ගොස් ෂෙකෙම්හි තිබුණු කණුව අසල ආලෝන වෘක්ෂය ළඟ දී අබිමෙලෙක් රජකමට පත් කළෝ ය.</verse>
				<verse number="7">මේ කරුණ ගැන ජෝතාම්ට දැන්වූ විට ඔහු ගොස් ගෙරිශීම් කන්ද පිට සිට මොරගසමින් මෙසේ කීවේ ය: “ෂෙකෙම්හි වැසියෙනි, දෙවියන් වහන්සේ ඔබට සවන් දෙන පිණිස, ඔබ මට සවන් දෙන්න.</verse>
				<verse number="8">එක් කලෙක වෘක්ෂයෝ තමන් කෙරෙහි රජෙකු පත් කරගන්නට ගිය හ. ඒ වෘක්ෂයෝ, ‘ඔබ අප කෙරෙහි රජ වුණ මැනවැ’යි ඔලීව වෘක්ෂයට කී හ.</verse>
				<verse number="9">ඔලීව ගස ඒ වෘක්ෂයන්ට පිළිතුරු දෙමින්, ‘දෙවියන් වහන්සේට ද මනුෂ්‍යයන්ට ද ගෞරව කරන්නට පාවිච්චි කරන මාගේ තෙල් අත්හැර ඔබ කෙරෙහි රජ කරන පිණිස යාම මට යුතු දැ’යි ඇසී ය.</verse>
				<verse number="10">එවිට වෘක්ෂයෝ, ‘ඔබ අවුත් අප කෙරෙහි රජ වුණ මැනවැ’යි අත්තික්කා ගසට කී හ.</verse>
				<verse number="11">අත්තික්කා ගස ඒ වෘක්ෂයන්ට පිළිතුරු දෙමින්, ‘ඔබ කෙරෙහි රජ කරන පිණිස, මාගේ හොඳ ඵල ද එහි මිහිර ද අත්හැරීම යුතු දැ’යි ඇසී ය.</verse>
				<verse number="12">එවිට වෘක්ෂයෝ, ‘ඔබ අවුත් අප කෙරෙහි රජ වුණ මැනවැ’යි මිදි වැලට කී හ.</verse>
				<verse number="13">මිදි වැල පිළිතුරු දෙමින්, ‘ඔබ කෙරෙහි රජකම් කරන පිණිස, මා දෙවිවරුන් සහ මනුෂ්‍යයන් ප්‍රීති කරවන මාගේ මිදියුස අත්හැරීම යුතු දැ’යි ඇසී ය.</verse>
				<verse number="14">එවිට සියලු වෘක්ෂයෝ, ‘ඔබ අවුත් අප කෙරෙහි රජ වුණ මැනවැ’යි කටුඇඹිල්ල ගසට කී හ.</verse>
				<verse number="15">කටුඇඹිල්ල ගස පිළිතුරු දෙමින්, ‘ඔබ සැබෑවට ම ඔබ කෙරෙහි රජෙකු කොට මා පත්කරගන්නහු නම්, අවුත් මාගේ සෙවණෙහි රැකවරණය ලබා සිටින්න. එසේ නොකළොත්, කටුඇඹිල්ල ගසෙන් ගින්නක් නික්ම ලෙබනොන්හි කිහිරි ගස් දවාලන්නේ යැ’යි වෘක්ෂයන්ට කීවේ ය.</verse>
				<verse number="16">“දැන් ඉතින් ෂෙකෙම් වැසියෙනි, ඔබ හැම සැබෑ ලෙස ද අවංක ලෙස ද ක්‍රියා කොට අබිමෙලෙක් රජකමට පත් කළහු ද? ජෙරුබ්බාල්ගේ ක්‍රියාවලට ඔබින ලෙස ඔහුටත්, ඔහුගේ පවුලේ අයටත් යුතු දේ කළහු ද?</verse>
				<verse number="17">මාගේ පියා තමාගේ ජීවිතය නොතකා ඔබ උදෙසා යුද්ධ කර මිදියන්වරුන්ගේ අත්වලින් ඔබ ගැළෙවුවේ ය.</verse>
				<verse number="18">එහෙත්, ඔබ අද මාගේ පියාගේ වංශයට විරුද්ධ ව නැඟී සිට ඔවුන්ගේ පුත්‍රයන් සැත්තෑදෙනෙකු එක ගල පිට මරා, ඔහුගේ දාසියගේ පුත්‍ර අබිමෙලෙක් ඔබේ ඥාතියෙකු වන බැවින් ඔහු ෂෙකෙම්හි වැසියන් කෙරෙහි රජකමට පත් කළහු ය.</verse>
				<verse number="19">ඔබ මෙසේ අද දවසේ ජෙරුබ්බාල්ට සහ ඔහුගේ පවුලට සැබෑ ලෙස ද අවංක ලෙස ද ක්‍රියා කළහු නම්, අබිමෙලෙක් ගැන ප්‍රීති වන්න; ඔහුත් ඔබ ගැන ප්‍රීති වේ වා.</verse>
				<verse number="20">එසේ නැත්නම්, අබිමෙලෙක්ගෙන් ගිනි නික්ම ෂෙකෙම් වැසියන් ද මිල්ලෝ වංශය ද දවා දමා වා! ෂෙකෙම් වැසියන්ගෙන් ද මිල්ලෝ වංශයෙන් ද ගිනි නික්ම අබිමෙලෙක් දවා දමා වා!”</verse>
				<verse number="21">එවිට ජෝතාම් තමාගේ සහෝදර අබිමෙලෙක්ට බියෙන් බෙයේර්ට පලා ගොස් එහි විසුවේ ය.</verse>
				<verse number="22">අබිමෙලෙක් ඉශ්රායෙල්හි අවුරුදු තුනක් රජකම් කෙළේ ය.</verse>
				<verse number="23">ඉන්පසු අබිමෙලෙක් සහ ෂෙකෙම් වැසියන් අතරේ විරුද්ධවාදිකමක් දෙවියන් වහන්සේ ඇති කළ සේක. ෂෙකෙම් වැසියෝ අබිමෙලෙක්ට විරුද්ධ ව ද්‍රෝහිකම් කළෝ ය.</verse>
				<verse number="24">මෙසේ වූයේ, ජෙරුබ්බාල්ගේ පුත්‍රයන් සැත්තෑදෙනාට කරන ලද අයුක්තියේත්, ඔවුන්ගේ ලේ වැගිරීමේත් ප්‍රතිවිපාකය ඔවුන් මැරූ ඔවුන්ගේ සහෝදරයා වන අබිමෙලෙක් පිටත්, ඔහුගේ සහෝදරයන් මැරීමට අනුබල දුන් ෂෙකෙම් වැසියන් පිටත් පැමිණෙන පිණිස ය.</verse>
				<verse number="25">ෂෙකෙම් වැසියෝ ඔහුට විරුද්ධ ව කඳු මුදුන්වල මිනිසුන් රහසින් සිටෙව්වෝ ය. ඔව්හු ඒ මාර්ගයෙහි ඔවුන් ළඟින් යන සියල්ලන්ගෙන් කොල්ලකෑවෝ ය. එපවත් අබිමෙලෙක්ට දන්වන ලද්දේ ය.</verse>
				<verse number="26">තවද, ඒබෙද්ගේ පුත් ගයල් සිය සහෝදරයන් සමඟ ෂෙකෙම්ට පැමිණියේ ය. ෂෙකෙම් වැසියෝ ඔහු කෙරෙහි විශ්වාසය තැබූ හ.</verse>
				<verse number="27">ඔව්හු කෙත්වලට ගොස් තමන්ගේ මිදිවතුවලින් පල නෙළා, මැඬගෙන, මංගල්‍ය පවත්වමින්, තමන්ගේ දෙවියන්ගේ දේවාලයට ඇතුළු වී, කා බී අබිමෙලෙක්ට දෙස් තැබුවෝ ය.</verse>
				<verse number="28">ඒබෙද්ගේ පුත් ගයල් කතා කොට, “අප විසින් අබිමෙලෙක්ට සේවය කරනු ලැබීමට ඔහු කවරෙක් ද? ෂෙකෙම් වැසියෝ කවුරු ද? අබිමෙලෙක් ජෙරුබ්බාල්ගේ පුත්‍රයා නොවේ ද? ඔහුගේ අධිපතියා ශෙබුල් නොවේ ද? අප ඔහුට සේවය කරන්නේ කුමට ද? ඔබේ ගෝත්‍රය පිහිටෙවු, ඔබේ පියා වූ හාමොර්ට පක්ෂපාත ව සිටින්න. එසේ නම්, අප ඔබට සේවය කළ යුත්තේ මන් ද?</verse>
				<verse number="29">අහෝ! මේ මිනිස්සු මා යටතේ සිටිත් නම්, මම අබිමෙලෙක්ට පහර දෙන්නෙමි. ‘ඔබේ සේනාව තර කරගෙන සටන් කරන පිණිස පිටතට එන්නැ’යි අබිමෙලෙක්ට කියන්නෙමි”යි කීවේ ය.</verse>
				<verse number="30">නගරයේ අධිපතියා වන ශෙබුල් ඒබෙද්ගේ පුත් ගයල්ගේ වචන ඇසූ කල ඔහුගේ කෝපය ඇවුළුණේ ය.</verse>
				<verse number="31">ඔහු රහසින් පණිවුඩකාරයන් අබිමෙලෙක් වෙත යවා, “බලන්න, ඒබෙද්ගේ පුත් ගයල් ද ඔහුගේ ඥාතීහු ද ෂෙකෙම්ට අවුත් සිටිති. ඔව්හු ඔබට විරුද්ධ ව නගරවැසියන් පොළඹවති.</verse>
				<verse number="32">එබැවින් ඔබ සහ ඔබ සමඟ සිටින සෙනඟ රාත්‍රියේ පිටත් වී, කෙතේ සැඟවී සිට</verse>
				<verse number="33">ඉර උදා වූ වහා ම නැඟිට, නුවර ආක්‍රමණය කරන්න. එවිට ඔහු ද ඔහු සමඟ සිටින සෙනඟ ද ඔබට විරුද්ධ ව පිටතට ආ කල්හි ප්‍රස්තාවෝචිත ලෙස ඔවුන්ට කළ යුතු දේ කරන්නැ”යි කියන්නට කීවේ ය.</verse>
				<verse number="34">අබිමෙලෙක් ද ඔහු සමඟ සිටි මුළු සෙනඟ ද රාත්‍රියේ පිටත් ව අවුත් කණ්ඩායම් හතරකට බෙදී ෂෙකෙම්ට පහර දෙන්නට රැකබලා සිටියෝ ය.</verse>
				<verse number="35">ඒබෙද්ගේ පුත් ගයල් ද පිටතට ගොස් නුවරට ඇතුළු වන දොරකඩ සිටියේ ය. අබිමෙලෙක් ද ඔහු සමඟ සිටි සෙනඟ ද සැඟවී සිටි තැනින් නැඟිට ආවෝ ය.</verse>
				<verse number="36">ගයල් සෙනඟ දැක, “අන්න, සෙනඟක් කඳු මුදුන්වලින් එති”යි ශෙබුල්ට කීවේ ය. ශෙබුල් ද, “සෙනඟ මෙන් ඔබට පෙනෙන්නේ කඳුවල ඇති සෙවණැලි යැ”යි ඔහුට කීවේ ය.</verse>
				<verse number="37">ගයල් නැවත කතා කොට, “අන්න, රටේ සෙනඟ ද උස් පළාතෙන් බැස එති; තවත් කණ්ඩායමක් මෙයොනෙනීම්හි ආලෝන අරඹට යන මාර්ගයෙන් බැස එති”යි කී ය.</verse>
				<verse number="38">එවිට ශෙබුල් ඔහුට පිළිතුරු දෙමින්, “ ‘අප විසින් සේවය කරනු ලැබීමට අබිමෙලෙක් කවරෙක් දැ’යි කීවාවූ ඔබේ කට දැන් කොහේ ද? මේ ඔබ විසින් හෙළා දකින ලද මිනිස්සු නොවෙත් ද? ඉතින් දැන් ඔබ ඔවුන්ට විරුද්ධ ව ගොස් සටන් කරන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="39">එවිට ගයල් ෂෙකෙම් වැසියන්ට පෙරටුව ගොස් අබිමෙලෙක්ට විරුද්ධ ව සටන් කෙළේ ය.</verse>
				<verse number="40">අබිමෙලෙක් ඔහු එළවාගෙන ගියේ ය. ගයල් ද අබිමෙලෙක් ඉදිරියෙන් පලා ගියේ ය. නුවර දොරකඩට පැමිණෙන තුරු බොහෝ දෙනෙක් මැරුම් කා වැටුණෝ ය.</verse>
				<verse number="41">අබිමෙලෙක් අරුමාහි වාසය කෙළේ ය. ශෙබුල් වනාහි ගයල්ට ද ඔහුගේ ඥාතීන්ට ද ෂෙකෙම්හි වාසය කරන්නට ඉඩ නොදී ඔවුන් නෙරපා දැමුවේ ය.</verse>
				<verse number="42">පසු දින ෂෙකෙම් වැසියෝ පිටතට ගියෝ ය. ඒ බව අබිමෙලෙක්ට දන්වන ලද්දේ ය.</verse>
				<verse number="43">ඔහු සෙනඟ කැඳවා කණ්ඩායම් තුනකට බෙදා පිටත සැඟවී සිටියේ ය. සෙනඟ නුවරින් පිටතට එන බව ඔහු දුටු විට, ඔහු ඔවුන්ට විරුද්ධ ව නැඟී අවුත් ඔවුන්ට පහර දුන්නේ ය.</verse>
				<verse number="44">අබිමෙලෙක් ද ඔහු සමඟ වූ කණ්ඩායම ද ඉදිරියට දිව ගොස් නුවරට ඇතුළු වන දොරකඩ සිටියෝ ය. කණ්ඩායම් දෙකක් පිටත සිටි සියල්ලන් වෙත දිව ගොස් ඔවුන්ට පහර දුන්නෝ ය.</verse>
				<verse number="45">අබිමෙලෙක් ඒ දවස මුළුල්ලෙහි ෂෙකෙම් නුවරට විරුද්ධ ව සටන් කොට, එය අල්ලාගෙන, එහි සෙනඟ මරා, නුවර බිඳ හෙළා එහි ලුණු වැපුරුවේ ය.</verse>
				<verse number="46">ෂෙකෙම්හි කොටුවේ සිටි සියලු දෙනා ඒ අසා, බෙරිත් නම් දෙවියාගේ දේවාලයේ කොතට ඇතුළු වුණෝ ය.</verse>
				<verse number="47">ෂෙකෙම්හි කොටුවේ මිනිසුන් සියලු දෙනා එක්රැස් ව සිටින බව අබිමෙලෙක්ට දන්වන ලද්දේ ය.</verse>
				<verse number="48">අබිමෙලෙක් ද ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද ශල්මොන් කන්දට නැඟී ගියෝ ය. අබිමෙලෙක් සිය අතින් පොරොවක් ගෙන, ගසකින් අත්තක් කපා, එය ඔසවා ඔහුගේ කරපිට තබාගෙන, තමා සමඟ සිටි සෙනඟට කතා කොට, “මා කරනවා ඔබ දුටු දේ ම ඔබත් ඉක්මනින් කරන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="49">එවිට සියලු දෙනා එකිනෙකා අත්තක් බැගින් කපාගෙන, අබිමෙලෙක් පසුපස්සේ ගොස්, ඒවා කොත ළඟ තබා, මිනිසුන් ඇතුළේ සිටිද්දී කොත ගිනි ලෑවෝ ය. මෙසේ ෂෙකෙම් කොටුවේ සිටි දහසක් පමණ ස්ත්‍රී-පුරුෂ සියලු දෙනා මියගියහ.</verse>
				<verse number="50">ඉක්බිති අබිමෙලෙක් තේබේශ්ට ගොස්, එය වටලා, එය අල්ලාගත්තේ ය.</verse>
				<verse number="51">ඒ නුවර තුළ ශක්තිමත් බලකොටුවක් තිබුණේ ය. ස්ත්‍රී-පුරුෂ සියලු දෙනා ද නුවර වැසි සියල්ලෝ ද එයට පලා ගොස් දොර වසාගෙන, කොටුවේ පියස්ස මුදුනට නැඟී සිටියෝ ය.</verse>
				<verse number="52">අබිමෙලෙක් කොටුව ළඟට අවුත්, ඊට විරුද්ධ ව සටන් කොට කොටුවේ දොර පුළුස්සා දමන පිණිස එය ළඟට ගියේ ය.</verse>
				<verse number="53">එවිට එක්තරා ස්ත්‍රියක් අබිමෙලෙක්ගේ හිස පිටට ඇඹරුම් ගලක් හෙළා ඔහුගේ හිස් කබල පොඩි කළා ය.</verse>
				<verse number="54">අබිමෙලෙක් සිය ආයුධ රැගත් තරුණයා ඉක්මනින් කැඳවා, “ ‘ස්ත්‍රියක් ඔහු මැරුවා ය’යි මිනිසුන් මා ගැන නොකියන පිණිස ඔබේ කඩුව ඇද මා මරන්නැ”යි කී ය. තරුණයා ඔහුට ඇන්නේ ය. ඔහු මළේ ය.</verse>
				<verse number="55">ඉශ්රායෙල් සෙනඟ අබිමෙලෙක් මළ බව දැක සියල්ලෝ ම තම තමන්ගේ ගෙවලට ගියෝ ය.</verse>
				<verse number="56">දෙවියන් වහන්සේ, අබිමෙලෙක් තම සහෝදරයන් සැත්තෑදෙනා මැරීමෙන් තමාගේ පියාට කළ දුෂ්ටකමට ප්‍රතිවිපාක දුන් සේක.</verse>
				<verse number="57">ෂෙකෙම්හි මිනිසුන්ගේ දුෂ්ටකමේ ප්‍රතිවිපාකය දෙවියන් වහන්සේ ඔවුන් පිට පැමිණෙවු සේක. මෙසේ ජෙරුබ්බාල්ගේ පුත් ජෝතාම් කළ සාපය ඉෂ්ට විය.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">අබිමෙලෙක්ට පසුව ඉස්සාකර් වැසියෙකු වූ දෝදෝගේ පුත්‍රයා වූ පුවාගේ පුත් තෝලා ඉශ්රායෙල්වරුන් ගළවන්නට ඉදිරිපත් වුණේ ය. ඔහු එප්‍රායිම් කඳු රටේ වූ ෂාමීර්හි වාසය කෙළේ ය.</verse>
				<verse number="2">ඔහු විසිතුන් අවුරුද්දක් වීරයෙකු මෙන් ඉශ්රායෙල් පාලනය කොට, නැසී, ෂාමීර්හි තැන්පත් කරනු ලැබී ය.</verse>
				<verse number="3">ඔහුට පසු ගිලියද් වැසියෙකු වූ ජායිර් ඉදිරිපත් වී විසි දෑවුරුද්දක් වීරයෙකු මෙන් ඉශ්රායෙල් පාලනය කෙළේ ය.</verse>
				<verse number="4">ඔහුට පුත්‍රයෝ තිස්දෙනෙක් සිටියෝ ය. ඔවුන් එකිනෙකාට නැඟී යාම පිණිස කොටළුවෝ තිස්දෙනෙක් වූවෝ ය. ඔවුන්ට ගිලියද් දේශයෙහි නගර තිහක් ද තිබුණේ ය. ඒවාට හවොත්-ජායිර් කියා අද දවස දක්වා කියනු ලැබේ.</verse>
				<verse number="5">ජායිර් ද නැසී කාමොන්හි තැන්පත් කරනු ලැබී ය.</verse>
				<verse number="6">ඉශ්රායෙල් ජනයා නැවතත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පව් කොට, බාල් දේවතාවන්ටත්, අෂ්ටාරොත් දේවතාවිටත්, සිරියාවේ දෙවිවරුන්ටත්, සීදොන්හි දෙවිවරුන්ටත්, මෝවබ්හි දෙවිවරුන්ටත්, අම්මොන්වරුන්ගේ දෙවිවරුන්ටත්, පිලිස්තිවරුන්ගේ දෙවිවරුන්ටත් වැඳුම්පිදුම් කළෝ ය; සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් නොකොට උන් වහන්සේ අත් හැරියෝ ය.</verse>
				<verse number="7">සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් සෙනඟට විරුද්ධ ව ඇවිළී, උන් වහන්සේ ඔවුන් පිලිස්තිවරුන්ගේ අතට ද අම්මොන්වරුන්ගේ අතට ද පාවා දුන් සේක.</verse>
				<verse number="8">ඔවුන් ඒ අවුරුද්දේ පටන් දසඅට අවුරුද්දක් ජොර්දානෙන් එගොඩ ගිලියද්හි තිබෙන අමෝරිවරුන්ගේ දේශයේ සිටි සියලු ඉශ්රායෙල් ජනයාට පීඩා කොට ඔවුන් මැඬලුවෝ ය.</verse>
				<verse number="9">තවද, අම්මොන්හි සෙනඟ ජුදා ගෝත්‍රයටත්, බෙන්ජමින් ගෝත්‍රයටත්, එප්‍රායිම් ගෝත්‍රයටත් විරුද්ධ ව යුද්ධ කරන පිණිස ජොර්දානෙන් මෙගොඩට ආවෝ ය. මෙසේ ඉශ්රායෙල් සෙනඟ බරපතල අමාරුවකට පත් වූ හ.</verse>
				<verse number="10">එවිට ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට මොරගසා, “අපි අපේ දෙවියන් වහන්සේ අත්හැර බාල් දේවතාවන්ට වැඳුම්පිදුම් කිරීමෙන් ඔබ වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමු”යි කීවෝ ය.</verse>
				<verse number="11">සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් සෙනඟට පිළිතුරු දෙමින්, “මිසරවරුන්ගෙන් ද අමෝරිවරුන්ගෙන් ද අම්මොන්වරුන්ගෙන් ද පිලිස්තිවරුන්ගෙන් ද මම නුඹලා ගළවා නොගතිම් ද?</verse>
				<verse number="12">සීදොන්වරුන් සහ අමලෙක්වරුන් ද මායොන්වරුන් ද නුඹලාට පීඩා කළ විට, නුඹලා මට මොරගැසූ කල්හි ඔවුන්ගේ අතිනුත් මම නුඹලා ගැළෙවුවෙමි.</verse>
				<verse number="13">එහෙත්, නුඹලා මා අත්හැර අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කළහු ය. එබැවින් දැන් මම නුඹලා නොගළවන්නෙමි.</verse>
				<verse number="14">නුඹලා තෝරාගත් දෙවිවරුන් කරා ගොස් ඔවුන්ට මොරගසන්න. ඔව්හු නුඹලාගේ විපත්ති කාලයේ දී නුඹලා ගළවත්වා”යි වදාළ සේක.</verse>
				<verse number="15">ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට කතා කොට, “අපි පව් කෙළෙමු. ඔබ වහන්සේට සුදුසු යැයි පෙනෙන දෙයක් අපට කළ මැනව. එහෙත්, මේ වතාවේ අප ගැළෙවුව මැනවැ”යි කීවෝ ය.</verse>
				<verse number="16">එවිට ඔව්හු අන් දෙවිවරුන් තමන් කෙරෙන් පහ කර දමා, සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කළෝ ය. උන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ගේ කාලකණ්ණිකම ගැන ශෝක වූ සේක.</verse>
				<verse number="17">එකල අම්මොන් ජනයා රැස් ව ගිලියද්හි කඳවුරු බැඳගත්තෝ ය. ඉශ්රායෙල් ජනයා රැස් වී මිශ්පාහි කඳවුරු බැඳගත්තෝ ය.</verse>
				<verse number="18">එවිට සෙනඟ හා ගිලියද්හි අධිපතියෝ එකිනෙකාට කතා කරමින්, “අම්මොන් සෙනඟට විරුද්ධ ව සටන් කරන්නට පටන්ගන්න මිනිසා කවරෙක් ද? ඔහු ගිලියද්හි සියලු වැසියන් කෙරෙහි ප්‍රධානියා කරන්නෙමු”යි කී හ.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">ගිලියද් වැසියෙකු වූ ජෙප්තා බලසම්පන්න හේවායෙක් විය. ඔහු වේශ්‍යා ස්ත්‍රියකගේ පුත්‍රයෙකි. ඔහුගේ පියාගේ නම ගිලියද් ය.</verse>
				<verse number="2">ගිලියද්ගේ භාර්යාව ඔහුට දාව පුත්‍රයන් ලැබුවා ය. ඔහුගේ භාර්යාවගේ පුත්‍රයන් වැඩි වයසට පැමිණි කල, ඔව්හු ජෙප්තාට කතා කොට, “ඔබ අන් ස්ත්‍රියකගේ පුතෙකු බැවින්, අපේ පියාගේ ගෙදර උරුමකරුවෙක් නොවන්නෙහි ය” කියා එළවාදැමුවෝ ය.</verse>
				<verse number="3">එවිට ජෙප්තා තමාගේ සහෝදරයන් ඉදිරියෙන් පලා ගොස් ටෝබ් දේශයේ වාසය කෙළේ ය. කමකට නැති මිනිස්සු ජෙප්තාට එකතු වී ඔහු කැටුව ගියෝ ය.</verse>
				<verse number="4">කලකට පසු අම්මොන්වරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කළෝ ය.</verse>
				<verse number="5">අම්මොන්වරුන් ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන විට, ගිලියද් දේශයේ ප්‍රජා මූලිකයෝ ටෝබ් දේශයෙන් ජෙප්තා කැඳවාගෙන එන්නට ගොස්,</verse>
				<verse number="6">ඔහුට කතා කොට, “අප අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස අපේ අධිපතියා වන්නට පැමිණෙන්නැ”යි ඉල්ලා සිටියෝ ය.</verse>
				<verse number="7">ජෙප්තා පිළිතුරු දෙමින්, “ඔබ මා කෙරෙහි වෛර බැඳ, මාගේ පියාගේ ගෙදරින් මා පන්නා දැමුවා නොවේ ද? දැන් ඔබේ විපතේ දී කුමක් නිසා මා ළඟට ආවහු දැ”යි ඔවුන්ගෙන් ඇසුවේ ය.</verse>
				<verse number="8">එවිට ගිලියද් දේශයේ ප්‍රජා මූලිකයෝ පිළිතුරු දෙමින්, “අප දැන් යළිත් ඔබ ළඟට ආවේ, ඔබ අප සමඟ ගොස්, අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කර, ගිලියද් වැසියන් වන අප සියල්ලන්ට ප්‍රධානියා වන පිණිස යැ”යි ජෙප්තාට කී හ.</verse>
				<verse number="9">ජෙප්තා ඔවුන්ට කතා කොට, “අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස ඔබ මා යළිත් කැඳවා ගෙන ගිය විට, සමිඳාණන් වහන්සේ ඔවුන් මා අතට පාවා දුන්නොත්, මම ඔබේ ප්‍රධානියා වන්නෙම් දැ”යි ඇසුවේ ය.</verse>
				<verse number="10">එවිට ඔව්හු පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ අප අතරේ සාක්ෂි දෙන සේක. සැබැවින් ම ඔබේ වචනය ලෙස ම කරන්නෙමු”යි ජෙප්තාට කී හ.</verse>
				<verse number="11">එවිට ජෙප්තා ගිලියද්හි ප්‍රජා මූලිකයන් සමඟ නික්ම ගියේ ය. සෙනඟ ඔහු තමන්ගේ ප්‍රධානියා ද අධිපතියා ද කරගත්හ. ජෙප්තා මිශ්පාහි දී ඔහුගේ සියලු කොන්දේසි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කීවේ ය.</verse>
				<verse number="12">ජෙප්තා අම්මොන්වරුන්ගේ රජු වෙත පණිවුඩකාරයන් යවා, “ඔබ මාගේ දේශයට විරුද්ධ ව යුද්ධ කරන පිණිස පැමිණියේ, මා සහ ඔබ අතරේ ඇති කුමන ආරාවුලක් නිසා දැ”යි ඇසුවේ ය.</verse>
				<verse number="13">අම්මොන්වරුන්ගේ රජ ජෙප්තාගේ පණිවුඩකාරයන්ට පිළිතුරු දෙමින්, “මා එසේ කෙළේ, ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් ආ කල අර්ණොන් පටන් ජබ්බොක් හා ජොර්දාන් දක්වා මාගේ දේශය පැහැරගත් නිසා ය; එහෙයින්, දැන් ඒ රටවල් සාමදානයෙන් ආපසු දෙන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="14">ජෙප්තා අම්මොන්වරුන්ගේ රජු වෙත පණිවුඩකාරයන් යැව්වේ ය.</verse>
				<verse number="15">“ජෙප්තා මෙසේ කියන්නේ යැ”යි ඔව්හු කී හ: “ඉශ්රායෙල්වරුන් මෝවබ් දේශය වත්, අම්මොන්වරුන්ගේ දේශය වත් පැහැරගත්තේ නැත.</verse>
				<verse number="16">එහෙත්, ඉශ්රායෙල්වරුන් මිසර දේශයෙන් ආ කල ඔව්හු රතු මුහුද දක්වා පාළුකරයේ ගමන් කර කාදෙෂ්ට පැමිණියෝ ය.</verse>
				<verse number="17">එවිට ඉශ්රායෙල්වරු ඒදොම් රජු වෙත පණිවුඩකාරයන් යවා, ‘ඔබේ දේශය මැදින් යන්නට අපට අවසර ලැබේවා’යි කී හ. එහෙත්, ඒදොම් රජු එයට සවන් නොදුන්නේ ය. මෝවබ් රජු වෙතටත් එසේ ම පණිවුඩකාරයෝ යවනු ලැබූ හ. ඔහු ද ඒ ඉල්ලීමට කැමැති නො වී ය. ඉශ්රායෙල්වරු කාදෙෂ්හි නැවතී සිටියෝ ය.</verse>
				<verse number="18">ඉන්පසු ඔව්හු පාළුකරය මැදින් ගමන් කොට ඒදොම් දේශයත්, මෝවබ් දේශයත් වටකරින් ගොස්, මෝවබ් දේශයේ නැගෙනහිරින් අවුත්, මෝවබ් සීමාව ඇතුළතට නොපැමිණ, අර්ණොන් ඔයෙන් එගොඩ කූඩාරම් පිහිටුවාගත්තෝ ය. මන්ද, අර්ණොන් ඔය මෝවබ් සීමාව වූ බැවිනි.</verse>
				<verse number="19">එවිට ඉශ්රායෙල්වරු හෙෂ්බොන්හි රජු වන අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් වෙත පණිවුඩකාරයන් යවා, ‘ඔබේ දේශය මැදින් අපේ ම දේශයට යන්නට අපට අවසර දුන මැනවැ”යි කී හ.</verse>
				<verse number="20">එහෙත්, සීහොන් රජ තමාගේ දේශය මැදින් ඉශ්රායෙල්වරුන් යාම ගැන සැක කර, තමාගේ මුළු සෙනඟ රැස් කොට, ජහශ්හි කඳවුරු බැඳ, ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කෙළේ ය.</verse>
				<verse number="21">ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ සීහොන් රජු සහ ඔහුගේ මුළු සෙනඟ ඉශ්රායෙල්වරුන් අතට පාවා දුන් සේක. ඉශ්රායෙල්වරු ඔවුන්ට පහර දී ඒ දේශවාසී වූ අමෝරිවරුන්ගේ මුළු රට හිමි කරගත්තෝ ය.</verse>
				<verse number="22">“ඔව්හු අර්ණොන් පටන් ජබ්බොක් දක්වා ද පාළුකරයේ පටන් ජොර්දාන් දක්වා ද අමෝරිවරුන්ගේ මුළු දේශය හිමි කරගත්තෝ ය.</verse>
				<verse number="23">මෙසේ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් අමෝරිවරුන් පන්නා දමා තිබිය දී, ඔබ ඔවුන්ගේ රට හිමි කරගන්නට අදහස් කරන්නෙහි ද?</verse>
				<verse number="24">ඔබේ දෙවි වන කෙමොෂ් ඔබට හිමි කරගැනීමට දුන් දේ ඔබට හිමි කරගත හැකි ය. එලෙස ම අපේ දෙවි සමිඳාණන් වහන්සේ අප ඉදිරියෙන් පන්නා දැමූ සියල්ලන්ගේ රට අපිත් හිමි කරගනිමු.</verse>
				<verse number="25">ශිප්පොර්ගේ පුත් මෝවබ්හි රජ වූ බාලාක්ට වඩා ඔබ කොයි අයුරකින් වත් උතුම් ද? ඔහු ඉශ්රායෙල්වරුන් සමඟ කවරදා වත් ආරාවුල් කෙළේ ද? ඔවුන්ට විරුද්ධ ව කවරදා වත් යුද්ධ කෙළේ ද?</verse>
				<verse number="26">ඉශ්රායෙල්වරුන් වනාහි හෙෂ්බොන් හා ඊට අයිති නගරවල ද අරෝයෙර් හා ඊට අයිති නගරවල ද අර්ණොන් අසබඩ තිබෙන සියලු නගරවල ද අවුරුදු තුන්සියයක් වාසය කරද්දී ඔබ ඒ කාලය අතරතුරේ දී ඒවා ගළවා නොගත්තේ මන් ද?</verse>
				<verse number="27">එබැවින් මම ඔබට විරුද්ධ ව වරදක් නොකෙළෙමි. එසේ වුව ද මට විරුද්ධ ව යුද්ධ කිරීමෙන් ඔබ මට අයුත්තක් කරන්නෙහි ය. විනිශ්චයකාරයාණන් වන සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් හා අම්මොන්වරුන් අතරේ අද විනිශ්චය කරන සේක් වා.”</verse>
				<verse number="28">එසේ වුවත්, අම්මොන්වරුන්ගේ රජ, තමාට ජෙප්තා එවූ පණිවුඩයට සවන් නුදුන්නේ ය.</verse>
				<verse number="29">සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ජෙප්තා කෙරෙහි පහළ විය. ඔහු ගිලියද් සහ මනස්සේ මැදින් ගොස් ගිලියද්හි මිශ්පාට පැමිණ එතැන් සිට අම්මොන්වරුන් වෙත ගියේ ය.</verse>
				<verse number="30">ජෙප්තා සමිඳාණන් වහන්සේට බාරයක් වෙමින්, “ඔබ වහන්සේ සැබැවින් අම්මොන්වරුන් මා අතට පාවා දෙන සේක් නම්,</verse>
				<verse number="31">මා සාමදානයෙන් අම්මොන්වරුන් වෙතින් හැරී එන කල, මා හමු වන පිණිස මාගේ ගෙයින් පිටත් ව එන කවරෙකු වුවත්, ඔහු සමිඳාණන් වහන්සේට අයිති වන්නේ ය; මම ඔහු දවන යාග පූජාවක් කොට ඔප්පු කරන්නෙමි”යි කීවේ ය.</verse>
				<verse number="32">මෙසේ ජෙප්තා අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස ඔවුන් කරා ගියේ ය. සමිඳාණන් වහන්සේ ද ඔහු අතට ඔවුන් පාවා දුන් සේක.</verse>
				<verse number="33">ඔහු නගර විස්සකින් සමන්විත අරෝයෙර් පටන් මින්නිත්ට පැමිණෙන තැන දක්වා ද ආබෙල්-කෙරාමීම් දක්වා ද ඔවුන්ට පහර දී ඉමහත් ඝාතනයක් කෙළේ ය. මෙසේ අම්මොන්වරු ඉශ්රායෙල්වරුන් විසින් යටත් කරනු ලැබූ හ.</verse>
				<verse number="34">ජෙප්තා මිශ්පාහි තමාගේ ගෙදරට එන විට, ඔහුගේ දුව රබන් ගසමින් ද නටමින් ද ඔහුගේ පෙරමඟට ආවා ය. ඈ වූ කලී ඔහුගේ එක ම දරුවා ය. ඈ හැර ඔහුට පුතෙක් වත්, දුවක් වත් නො වූ හ.</verse>
				<verse number="35">ඔහු ඇය දුටු විට, තමාගේ වස්ත්‍ර ඉරාගෙන, “අහෝ මාගේ දියණියෙනි! ඔබ මා ඉමහත් දුකට පත් කෙළෙහි ය. ඔබ මාගේ දුක් වේදනාවට හේතු වූයේ මන් ද? මා එසේ කියන්නේ, මම සමිඳාණන් වහන්සේට මාගේ මුවින් පොරොන්දුවක් වූ බැවිනි. එය වෙනස් කළ නොහැකි ය”යි කී ය.</verse>
				<verse number="36">ඈ ද පිළිතුරු දෙමින්, “මාගේ පියාණෙනි, ඔබේ මුවින් ඔබ සමිඳාණන් වහන්සේට පොරොන්දුවක් වුණෙහි නම්, ඔබ දුන් පොරොන්දුව ලෙස මට කරන්න; ඔබේ සතුරන් වන අම්මොන්වරුන්ගෙන් ඔබ උදෙසා උන් වහන්සේ පළිගත් සේකැ”යි කීවා ය.</verse>
				<verse number="37">තවදුරටත් ඈ පියාට කතා කොට, “මෙසේ මට අවසර ලැබේ වා. මා ද මාගේ යෙහෙළියන් ද ගොස් කඳුවල ඇවිද, මාගේ කන්‍යාභාවය ගැන වැලපෙන්නට මට දෙමසක් කල් දුන මැනවැ”යි කීවා ය.</verse>
				<verse number="38">ඔහු ද ඈට, “යන්නැ”යි කියා ඈ දෙමසකට පිටත් කර යැව්වේ ය. ඈ ඇගේ යෙහෙළියන් සමඟ කඳුකරයට ගොස් ඇගේ කන්‍යාභාවය ගැන වැලපුණා ය.</verse>
				<verse number="39">දෙමස ගෙවී ගිය කල ඈ ඇගේ පියා වෙත හැරී ආවා ය. එවිට ඔහු තමා කළ බාරය අනුව ඈට කෙළේ ය. ඈ කන්‍යාවක් ව සිටියා ය. මෙය ඉශ්රායෙල්වරුන් අතරේ ඇති වූ සිරිතකි.</verse>
				<verse number="40">එනම්, ගිලියද්හි ජෙප්තාගේ දුව සිහි කිරීම පිණිස අවුරුද්දකට සතර දවසක් බැගින් ඉශ්රායෙල් දූවරුන් ගෙදරින් පිටත් ව යාම අවුරුදු පතා පවත්වන ඔවුන්ගේ සිරිතක් ය.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">එප්‍රායිම් වැසියෝ රැස් වී, උතුරු දිශාවට එතෙර වී ගොස් ජෙප්තාට කතා කොට, “ඔබ සමඟ යන පිණිස අපට ආරාධනා නොකොට, ඔබ අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට එගොඩට ගියේ මන් ද? අපි ඔබේ නිවෙස ඔබත් ඇතුළු ව ගින්නෙන් පුළුස්සා දමන්නෙමු”යි කී හ.</verse>
				<verse number="2">ජෙප්තා ඔවුන්ට කතා කොට, “මාගේ සෙනඟත්, මමත් අම්මොන්වරුන්ට විරුද්ධ ව තදබල ආරාවුලක යෙදී සිටියෙමු. මා ඔබට අඬගැසූ නමුත්, ඔවුන්ගේ අතින් ඔබ මා නොගැළෙවුවහු ය.</verse>
				<verse number="3">ඔබ මා නොගැළෙවු බව දුටු විට මම මාගේ ජීවිතය නොතකා, අම්මොන්වරුන්ට විරුද්ධ ව එගොඩට ගියෙමි. සමිඳාණන් වහන්සේ ඔවුන් මා අතට පාවා දුන් සේක. ඉතින් ඔබ හැම මට විරුද්ධ ව සටන් කරන්නට අද දවසේ මා වෙත ආවේ කුමක් නිසා දැ”යි කීවේ ය.</verse>
				<verse number="4">එවිට ජෙප්තා ගිලියද්හි සියලු මිනිසුන් රැස් කරවාගෙන එප්‍රායිම්ට විරුද්ධ ව යුද්ධ කෙළේ ය. එසේ කෙළේ, “එප්‍රායිම්වරුන් හා මනස්සේවරුන් අතර වසන ගිලියද්වරුනි, ඔබ එප්‍රායිම් කෙරෙන් පලා ගිය අය යැ”යි එප්‍රායිම්වරුන් කී බැවිනි.</verse>
				<verse number="5">ගිලියද්වරු එප්‍රායිම්ට යන ජොර්දාන් තොටුපොළවල් අල්ලාගත්තෝ ය. පලාගිය එප්‍රායිම්වරුන්ගෙන් යමෙකු අවුත්, “මට එගොඩ වන්නට අවසර දෙන්නැ”යි කී කල, ගිලියද් සෙනඟ, “ඔබ එප්‍රායිම් වැසියෙක් දැ”යි ඔහුගෙන් අසති. ඔහු “නැතැ”යි කීවොත්,</verse>
				<verse number="6">“ ‘ෂිබ්බොලෙත්’ කියා කියාපන්නැ”යි ඔව්හු ඔහුට කියති. ඔහුට එය හරියට උච්චාරණය නොකළ හැකි ව, ‘සිබ්බොලෙත්’ කියා කීවොත්, ඔව්හු ඔහු අල්ලා ජොර්දාන් තොටුපොළවල් ළඟ මරති. ඒ අයුරින් එප්‍රායිම්වරුන්ගෙන් සතළිස්දෙදහසක් මැරුම්කෑවෝ ය.</verse>
				<verse number="7">ජෙප්තා සය අවුරුද්දක් ඉශ්රායෙල් රට පාලනය කෙළේ ය. ඉන්පසු ගිලියද් වැසියෙකු වූ ජෙප්තා මියගියේ ය. ගිලියද්හි ඔහුගේ ම නගරයක ඔහු තැන්පත් කරන ලද්දේ ය.</verse>
				<verse number="8">ජෙප්තාට පසුව බෙත්ලෙහෙම්හි ඉබ්ශාන් ඉශ්රායෙල් රට පාලනය කෙළේ ය.</verse>
				<verse number="9">ඔහුට පුත්‍රයෝ තිස්දෙනෙක් ද දූවරු තිස්දෙනෙක් ද සිටියෝ ය. ඔහු දූවරුන් තිස්දෙනා ඔහුගේ වංශයෙන් පිටත අයට සරණපාවා දී, ඔහුගේ පුත්‍රයන්ට පිටතින් කාන්තාවන් තිස්දෙනෙකු ගෙනාවේ ය. ඔහු සත් අවුරුද්දක් ඉශ්රායෙල් රට පාලනය කෙළේ ය.</verse>
				<verse number="10">ඉබ්ශාන් මියගිය පසු බෙත්ලෙහෙම්හි තැන්පත් කරන ලද්දේ ය.</verse>
				<verse number="11">ඔහුට පසුව සාබුලොන් වැසියෙකු වූ ඒලොන් ඉශ්රායෙල් පාලනය කෙළේ ය. ඔහු දස අවුරුද්දක් ඉශ්රායෙල් පාලනය කෙළේ ය.</verse>
				<verse number="12">සාබුලොන් වැසියෙකු වූ ඒලොන් මියගිය පසු සාබුලොන් රටේ තිබෙන අයාලෝන්හි තැන්පත් කරන ලද්දේ ය.</verse>
				<verse number="13">ඔහුට පසුව පීරාතෝනි වැසියෙකු වූ හිල්ලෙල්ගේ පුත් අබ්දොන් ඉශ්රායෙල් රට පාලනය කෙළේ ය.</verse>
				<verse number="14">ඔහුට පුත්‍රයෝ සතළිස්දෙනෙක් ද මුණුබුරෝ තිස්දෙනෙක් ද සිටියෝ ය. ඔවුන් එකිනෙකාට නැඟී යන පිණිස කොටළුවෝ හැත්තෑදෙනෙක් වූ හ. ඔහු අට අවුරුද්දක් ඉශ්රායෙල් රට පාලනය කෙළේ ය.</verse>
				<verse number="15">පීරාතෝනි වැසියෙකු වූ හිල්ලෙල්ගේ පුත් අබ්දොන් ද මියගොස් එප්‍රායිම්හි අමලෙක්වරුන්ගේ කඳුකරයේ පීරාතෝන්හි තැන්පත් කරන ලද්දේ ය.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">ඉශ්රායෙල් සෙනඟ නැවතත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පව් කළෝ ය. සමිඳාණන් වහන්සේ ඔවුන් පිලිස්තිවරුන්ගේ අතට සතළිස් අවුරුද්දකට පාවා දුන් සේක.</verse>
				<verse number="2">දාන්ගේ වංශයට අයිති ශොරාහි එක්තරා මිනිසෙක් සිටියේ ය. ඔහුගේ නම මානෝවා ය. ඔහුගේ භාර්යාව වඳ වූ බැවින් දරුවන් නොලැබ සිටියා ය.</verse>
				<verse number="3">සමිඳාණන් වහන්සේගේ දූතයා ඒ ස්ත්‍රියට පෙනී මෙසේ කීවේ ය: “නුඹ වඳ ව දරුවන් නොලැබ සිටින්නෙහි ය. එහෙත්, නුඹ පිළිසිඳගෙන පුත්‍රයෙකු ලබන්නෙහි ය.</verse>
				<verse number="4">ඒ නිසා දැන් ඉතින් මුද්‍රික පානය වත්, සැර බීම වත් නොබී, අපවිත්‍ර දෙයක් නොකා සිටින හැටියට වගබලාගන්න.</verse>
				<verse number="5">මන්ද, නුඹ පිළිසිඳගෙන පුත්‍රයෙකු ලබන්නෙහි ය. දැළි පිහියකින් ඔහුගේ කෙස් නොකැපිය යුතු ය. මන්ද, දරුවා ගර්භයේ පටන් දෙවියන් වහන්සේට කැප කරන ලද නාසරීයයෙකු විය යුතු බැවිනි. ඔහු පිලිස්තිවරුන්ගේ අතින් ඉශ්රායෙල්වරුන් ගළවා ගන්නේ ය.”</verse>
				<verse number="6">එවිට ඒ ස්ත්‍රිය ඇගේ පුරුෂයා වෙත අවුත් මෙසේ කීවා ය: “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් මා ළඟට ආවේ ය. ඔහුගේ පෙනීම දේව දූතයෙකුගේ පෙනීම හා සමාන ව ඉතා ප්‍රතාපවත් ව තිබුණේ ය. ඔහු කොතැනින් ආවේ ද කියා මම නොඇසීමි. ඔහු තමාගේ නම මට දැන්වූයේ නැත.</verse>
				<verse number="7">එහෙත්, ඔහු මට කතා කොට, ‘බලන්න, නුඹ පිළිසිඳගෙන පුත්‍රයෙකු ලබන්නෙහි ය; ඒ නිසා දැන් ඉතින් මුද්‍රික පානය වත්, සැර බීම වත් නොබී, අපවිත්‍ර කිසි දෙයක් නොකා සිටින්න. මන්ද, ඒ දරුවා ගර්භයේ පටන් මැරෙන දවස දක්වා දෙවියන් වහන්සේට කැප කරන ලද නාසරීයයෙකු විය යුතු ය’යි කීවේ ය.”</verse>
				<verse number="8">එවිට මානෝවා සමිඳාණන් වහන්සේට කන්නලව් කරමින්, “අහෝ, සමිඳුනි, ඔබ විසින් එවන ලද දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා නැවත අප ළඟට අවුත්, උපදින්නට යන දරුවාට අප විසින් කරනු ලැබිය යුතු දේ ඉගැන්වුව මැනවැ”යි කීවේ ය.</verse>
				<verse number="9">දෙවියන් වහන්සේ මානෝවාගේ කන්නලව්වට ඇහුම්කන් දුන් සේක. දේව දූතයා ඒ ස්ත්‍රිය කෙතේ සිටිය දී යළිත් ඈ ළඟට පැමිණියේ ය. එහෙත්, ඇගේ පුරුෂයා වන මානෝවා ඈ ළඟ නොසිටියේ ය.</verse>
				<verse number="10">ස්ත්‍රිය ඉක්මනින් දුව ගොස්, “මෙන්න, එදා මා ළඟට ආ මනුෂ්‍යයා මට දැන් පෙනුණේ යැ”යි ඇගේ පුරුෂයාට දැන්වූවා ය.</verse>
				<verse number="11">මානෝවා නැඟිට සිය භාර්යාව කැටුව ගොස්, ඒ මනුෂ්‍යයා ළඟට පැමිණ, “මේ ස්ත්‍රියට කතා කළ මනුෂ්‍යයා ඔබ දැ”යි ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “ඔව්, මම යැ”යි පිළිතුරු දුන්නේ ය.</verse>
				<verse number="12">එවිට මානෝවා කතා කොට, “ඔබ කී දේ ඉටු වූ විට, දරුවා හැසිරිය යුත්තේ කෙසේ ද? ඔහු කළ යුත්තේ කුමක් දැ”යි ඇසුවේ ය.</verse>
				<verse number="13">සමිඳාණන් වහන්සේගේ දූතයා මානෝවාට කතා කොට, “මා ස්ත්‍රියට කී සියල්ල කිරීමට ඈ වගබලාගනී වා.</verse>
				<verse number="14">මුද්‍රික වැලෙන් උපදින කිසිවක් නොකා, මුද්‍රික පානය වත් සැර බීම වත් නොබී, අපවිත්‍ර කිසිවක් නොකා සිටීවා. මා විසින් ඈට අණ කරන ලද සියල්ල ඈ කළ යුතු යැ”යි කී ය.</verse>
				<verse number="15">මානෝවා සමිඳාණන් වහන්සේගේ දූතයාට කතා කොට, “අප විසින් ඔබට එළු පැටවෙකු උයා පිළියෙළ කරනු ලබන තුරු, ඔබ නවත්වාගන්නට අපට අවසර ලැබේවා”යි කීවේ ය.</verse>
				<verse number="16">සමිඳාණන් වහන්සේගේ දූතයා, “නුඹ මා නවත්වාගන්න නමුත්, නුඹේ කෑමෙන් නොකන්නෙමි; එහෙත්, නුඹ දවන යාග පූජාවක් පිළියෙළ කරන්නෙහි නම්, ඒ නුඹ විසින් සමිඳාණන් වහන්සේට ඔප්පු කරනු ලැබිය යුතු යැ”යි මානෝවාට කීවේ ය. ඔහු සමිඳාණන් වහන්සේගේ දූතයා බව මානෝවා නොදැන සිටියේ ය.</verse>
				<verse number="17">මානෝවා ද, “ඔබ කී ලෙස සිද්ධ වූ කල අප ඔබට ගෞරව කරන පිණිස ඔබේ නාමය කිමෙක් දැ”යි සමිඳාණන් වහන්සේගේ දූතයාගෙන් ඇසුවේ ය.</verse>
				<verse number="18">සමිඳාණන් වහන්සේගේ දූතයා පිළිතුරු දෙමින්, “නුඹ මාගේ නාමය ගැන විචාරන්නේ මන් ද? එය අබිරහසකැ”යි කීවේ ය.</verse>
				<verse number="19">එවිට මානෝවා එළු පැටවාත්, ආහාර පූජාවත් ගෙනවුත්, අරුමපුදුම දේ කරන සමිඳාණන් වහන්සේට පර්වතය මත පූජා කෙළේ ය.</verse>
				<verse number="20">ගිනි ජාලාව පූජාසනයෙන් අහස දෙස නඟින අතර, සමිඳාණන් වහන්සේගේ දූතයා ගිනි ජාලාවෙහි නැඟී ගියේ ය. මානෝවා ද ඔහුගේ භාර්යාව ද බලාගෙන සිටියෝ ය. එවිට ඔව්හු මුණින්තළා වැටුණෝ ය.</verse>
				<verse number="21">ඉන්පසු සමිඳාණන් වහන්සේගේ දූතයා මානෝවාට වත්, ඔහුගේ භාර්යාවට වත් නොපෙනුණේ ය. එවිට මානෝවා ඔහු සමිඳාණන් වහන්සේගේ දූතයා බව දැන ගත්තේ ය.</verse>
				<verse number="22">මානෝවා කතා කොට, “අප දෙවියන් වහන්සේ දුටු නිසා ඒකාන්තයෙන් නසින්නෙමු”යි තම භාර්යාවට කීවේ ය.</verse>
				<verse number="23">එහෙත්, ඔහුගේ භාර්යාව, “සමිඳාණන් වහන්සේ අප නසන්නට කැමැති සේක් නම්, උන් වහන්සේ අපේ අතින් දවන යාග පූජාවක් හා ආහාර පූජාවක් පිළිගන්නේ වත්, උන් වහන්සේ මේ සියල්ල අපට පෙන්වන්නේ වත්, මේ කාලයේ දී අපට මෙබඳු දේවල් දන්වන්නේ වත් නැතැ”යි ඔහුට කීවා ය.</verse>
				<verse number="24">ඒ ස්ත්‍රිය පුත්‍රයෙකු ලැබූ පසු ඈ ඔහුට සම්සොන් යන නම තැබුවා ය. දරුවා වැඩුණේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට ආශීර්වාද කළ සේක.</verse>
				<verse number="25">සම්සොන් ශොරාටත් එෂ්තායොල්ටත් අතරෙහි වූ දාන්ගේ කඳවුරේ සිටිය දී, සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු ක්‍රියාවේ පොළඹවන්නට පටන්ගත්තේ ය.</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">සම්සොන් තිම්නා නගරයට ගියේ ය. එහි දී ඔහු පිලිස්ති ජාතික එක් කාන්තාවක දුටුවේ ය.</verse>
				<verse number="2">ඔහු අවුත් තම පියාටත් මවටත් කතා කොට, “පිලිස්තිවරුන්ගේ දූවරුන්ගෙන් එක් කාන්තාවක තිම්නාහි දී මම දිටිමි. ඈ මාගේ බිරිඳ කරගන්න පිණිස මට ඈ ලබාදෙන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="3">එවිට ඔහුගේ මවුපියෝ ඔහුට කතා කොට, “ඔබ අචර්මඡේදිත පිලිස්තිවරුන්ගෙන් බිරිඳක ගන්නට යන්නේ, ඔබේ ඥාතීන්ගේ දූවරුන් අතරේ වත්, අපේ සෙනඟ අතරේ වත් කාන්තාවක නැති නිසා දැ”යි ඔහුගෙන් ඇසූ හ. එහෙත් සම්සොන්, “ඒ කාන්තාව මට ලබා දෙන්න, මම ඈට කැමැත්තෙමි”යි තම පියාට කීවේ ය.</verse>
				<verse number="4">මේ කටයුත්ත සම්බන්ධයෙන් ක්‍රියා කෙළේ, සමිඳාණන් වහන්සේ බව ඔහුගේ දෙමවුපියෝ නොදැන සිටියෝ ය. මන්ද, සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන්ට විරුද්ධ ව සටන් කිරීමට අවස්ථාවක් සොයමින් සිටි සේක. ඒ කාලයේ දී පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන් පාලනය කළෝ ය.</verse>
				<verse number="5">සම්සොන් ඔහුගේ මවුපියන් සමඟ තිම්නා නගරයට පිටත් ව ගියේ ය. තිම්නාහි මිදිවතුවලට පැමිණි කල, සිංහ නාම්බෙකු ඔහුට ගොරවනවා ඇසුණේ ය.</verse>
				<verse number="6">එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේ ය. සම්සොන් තමාගේ අතේ කිසිදු අවියක් නැති ව, එළු පැටවෙකු ඉරා දමන ලෙස ඌ ඉරා දැමුවේ ය. එහෙත්, ඔහු කළ දේ ඔහුගේ පියාට වත්, මවට වත් ඔහු දැන්නුවේ නැත.</verse>
				<verse number="7">ඉන්පසු ඔහු ගොස් ඒ කාන්තාව සමඟ කතා කෙළේ ය. ඈ ඔහුට බොහෝ ප්‍රියමනාප වූවා ය.</verse>
				<verse number="8">ස්වල්ප දවසකට පසු සම්සොන් ඈ සරණ පාවාගන්නට ආපසු යද්දී සිංහයාගේ මළකුණ බලන පිණිස ඉවතට හැරී ගියේ ය. ඔහු බැලූ කල සිංහයාගේ ශරීරයේ මී මැසි රංචුවක් ද මී පැණි ද තිබිණි.</verse>
				<verse number="9">ඔහු මී පැණි අතින් ගෙන, කකා ගොස්, ඔහුගේ මවුපියන් ළඟට පැමිණ ඔවුන්ටත් දුන්නේ ය. ඔව්හු කෑවෝ ය. එහෙත්, ඒ මී පැණි සිංහයාගේ මළකුණෙන් ගත් බව ඔහු ඔවුන්ට කීවේ නැත.</verse>
				<verse number="10">ඔහුගේ පියා ඒ කාන්තාව සිටි තැනට ආවේ ය. සම්සොන් එහි දී මංගල්‍යයක් පිළියෙළ කෙළේ ය. මෙය තරුණයන් අතරේ පැවති සිරිතක් විය.</verse>
				<verse number="11">පිලිස්තිවරු සම්සොන් දුටු විට ඔහු සමඟ සිටින පිණිස යහළුවන් තිස්දෙනෙකු ගෙනාවෝ ය.</verse>
				<verse number="12">සම්සොන් කතා කොට, “මම දැන් ඔබ හැමට ප්‍රහේලිකාවක් කියමි. මංගල්‍ය දවස් සත ඇතුළත දී ඔබ එය විසඳා මට කීවොත්, මම ඔබ හැමට සිහින් සළු තිහක් ද ඇඳුම් කට්ටල තිහක් ද දෙන්නෙමි.</verse>
				<verse number="13">එය විසඳා මට කියන්නට ඔබට බැරි වුණොත්, ඔබ සිහින් සළු තිහක් ද ඇඳුම් කට්ටල තිහක් ද මට දිය යුතු යැ”යි කීවේ ය. ඔව්හු, “අපට ඇසෙන්නට ඔබේ ප්‍රහේලිකාව කියන්නැ”යි ඔහුට කීවෝ ය.</verse>
				<verse number="14">ඔහු මෙසේ කී ය. “කන්නා කෙරෙන් කෑමකි; බලවතාගෙන් මිහිරකි.” ඒ ප්‍රහේලිකාව තුන් දවසකින් විසඳා කියන්නට ඔවුන්ට නුපුළුවන් විය.</verse>
				<verse number="15">සතර වන දවසේ ඔව්හු සම්සොන්ගේ බිරිඳට කතා කොට, “ප්‍රහේලිකාව අපට කියා දෙන්නට ඔබේ පුරුෂයා චාටුවෙන් පොළොඹවන්න. එසේ නොකළොත්, ඔබත්, ඔබේ පියාගේ ගෙයත් ගිනිබත් කරන්නෙමු. ඔබ හැම අප කැඳෙව්වේ අප දිළිඳුන් කරන්න නොවේ දැ”යි ඇසුවෝ ය.</verse>
				<verse number="16">සම්සොන්ගේ බිරිඳ ඔහුගේ ගෙල බදාගෙන අඬමින්, “ඔබ මට ද්වේෂ කරනවා මිස මට ආදරේ කරන්නේ නැත. මාගේ මිතුරන්ට ඔබ ප්‍රහේලිකාවක් කී නමුත්, ඒක මට තෝරා දුන්නේ නැතැ”යි කීවා ය. ඔහු පිළිතුරු දෙමින්, “බලන්න, මම මාගේ පියාට වත්, මාගේ මවට වත් ඒ ගැන නොකීවෙමි. ඔබට කියන්නේ කෙසේ දැ”යි ඈට කීවේ ය.</verse>
				<verse number="17">ඔවුන්ගේ මංගල්‍ය පැවති සත් දවස මුළුල්ලේ ම ඈ ඔහුගේ ගෙල බදාගෙන හැඬුවා ය. ඈ ඔහුට පෙරැත්ත කළ බැවින් ඔහු සත් වන දවසේ දී තේරුම ඈට කී ය. ඈ ද ඇගේ රට වැසියන්ට ඒ තේරුම කීවා ය.</verse>
				<verse number="18">සත් වන දවසේ දී ඉර බසින්නට පෙර නුවර වැසියෝ ඔහුට කතා කොට මෙසේ කී හ: “මී පැණිවලට වඩා මිහිරක් ඇද් ද? සිංහයෙකුට වඩා බලවෙතක් ඇද් ද?” සම්සොන් ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේ ය: “ඔබ මාගේ නෑම්බිය මඟින් සීසෑවේ නැත්නම්, මාගේ ප්‍රහේලිකාව දැනගන්නට නොහැකි වන්නේ ය.”</verse>
				<verse number="19">එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය බලවත් ලෙස ඔහු කෙරේ පැමිණියේ ය. ඔහු අෂ්කෙලොන්ට ගොස්, එහි මිනිසුන් තිස්දෙනෙකු මරා, ඔවුන්ගෙන් කොල්ලකාගෙන ප්‍රහේලිකාව තෝරා දුන් අයට ඇඳුම් කට්ටල දුන්නේ ය. ඔහු ඉමහත් කෝපයෙන් ඇවිළී තමාගේ පියාගේ ගෙදරට ගියේ ය.</verse>
				<verse number="20">සම්සොන්ගේ බිරිඳ, ඔහු යහළුවා කොටගත් ඔහුගේ මිතුරාට දෙන ලද්දී ය.</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">ස්වල්ප දවසකට පසු තිරිඟු කපන කාලයේ දී සම්සොන් එළු පැටවෙකු රැගෙන තමාගේ බිරිඳ බලන්නට ගියේ ය. “මාගේ බිරිඳ වෙත ඇතුළු ගෙට මම යමි”යි ඔහු ඇගේ පියාට කීවේ ය. එහෙත්, ඇගේ පියා ඔහුට යන්නට ඉඩ නොදී,</verse>
				<verse number="2">“සැබැවින් ම ඔබ ඈට මුළුමනින් ම වෛර වුණෙහි යැ යි මා සිතා, මම ඈ ඔබේ මිතුරාට දිනිමි. ඇගේ බාල සහෝදරී ඈට වඩා සුරූපී ය. ඈ වෙනුවට මෑ පාවාගන්නැ”යි සම්සොන්ට කීවේ ය.</verse>
				<verse number="3">සම්සොන් පිළිතුරු දෙමින්, “මේ වතාවේ දී මා පිලිස්තිවරුන්ට කරන දේ සම්බන්ධයෙන් මම වගකීම භාර නොගනිමි”යි කීවේ ය.</verse>
				<verse number="4">එසේ කියා සම්සොන් ගොස්, හිවලුන් තුන්සියයක් අල්ලාගෙන, හුළු අතු ද ගෙන, උන්ගේ වල්ගා දෙකක් එකට බැඳ, ඒ දෙක මැද හුළු අත්තක් බැගින් තැබුවේ ය.</verse>
				<verse number="5">ඉන්පසු ඔහු ඒ හුළු අතුවලට ගිනි තියා පිලිස්තිවරුන්ගේ ගොයම් අතරට උන් යන්නට හැරියේ ය. කැපූ ගොයම් ද නොකැපූ ගොයම් ද ඔලීව වතු ද එයින් දාලා ගියේ ය.</verse>
				<verse number="6">එවිට පිලිස්තිවරු, “මේ දේ කෙළේ කවුරු දැ”යි ඇසුවෝ ය. “තිම්නියයාගේ බෑණා වන සම්සොන් ය; ඔහු සම්සොන්ගේ බිරිඳ ඔහුගේ මිතුරාට දුන් නිසා සම්සොන් මෙසේ කෙළේ යැ”යි මිනිස්සු පිළිතුරු දුන්නෝ ය. එවිට පිලිස්තිවරු අවුත් ඒ ස්ත්‍රිය ද ඇගේ පියා ද ගින්නෙන් දවා දැමුවෝ ය.</verse>
				<verse number="7">සම්සොන් ඔවුන්ට කතා කොට, “ඉදින් මේ අන්දමින් ඔබ ක්‍රියා කරන්නහු නම්, සැබැවින් ඔබෙන් පළිගන්නෙමි; ඉන්පසු නවතින්නෙමි”යි කීවේ ය.</verse>
				<verse number="8">සම්සොන් ඔවුන්ට ගිය ගිය අතේ පහර දී ඉමහත් ඝාතනයක් කෙළේ ය. ඉන්පසු ඔහු ගොස් ඒතාම් පර්වතයේ ගුහාවේ නැවතී සිටියේ ය.</verse>
				<verse number="9">එකල පිලිස්තිවරු පිටත් ව ගොස් ජුදාහි කඳවුරු බැඳගෙන ලෙහි නගරයට පහර දුන්නෝ ය.</verse>
				<verse number="10">ජුදා වැසියෝ, “කුමක් නිසා ඔබ අපට විරුද්ධ ව ආවහු දැ”යි ඇසුවෝ ය. ඔව්හු පිළිතුරු දෙමින්, “අප ආවේ, සම්සොන් අත්අඩංගුවට ගෙන ඔහු අපට කළ හැටියට ඔහුටත් කරනු පිණිස යැ”යි කීවෝ ය.</verse>
				<verse number="11">එවිට ජුදා සෙනඟගෙන් තුන්දහසක් ඒතාම් පර්වතයේ ගුහාව ළඟට ගොස් සම්සොන්ට කතා කොට, “පිලිස්තිවරුන් අප කෙරෙහි ආණ්ඩු කරන බව ඔබ දන්නේ නැද් ද? එසේ නම්, ඔබ අපට කර තිබෙන මේ දේ කුමක් දැ”යි ඇසුවෝ ය. “ඔවුන් මට කළ ලෙස ම මමත් ඔවුන්ට කෙළෙමි”යි ඔහු ඔවුන්ට කී ය.</verse>
				<verse number="12">ඔව්හු ද, “ඔබ බැඳ පිලිස්තිවරුන්ට පාවා දෙන පිණිස අපි ආවෙමු”යි ඔහුට කී හ. සම්සොන් පිළිතුරු දෙමින්, “ඔබ ම මා නොමරන හැටියට දිවුරුම් දෙන්නැ”යි ඔවුන්ට කීවේ ය.</verse>
				<verse number="13">ඔව්හු ද, “ඔබ බැඳ ඔවුන් අතට පාවා දෙනවා මිස සැබැවින් අපි ඔබ නොමරන්නෙමු”යි ඔහුට කියා, අලුත් කඹ දෙකකින් ඔහු බැඳ පර්වතයෙන් ගෙනාවෝ ය.</verse>
				<verse number="14">ඔහු ලෙහි නගරයට පැමිණි කල පිලිස්තිවරු ඔහු දැක ඔල්වර හඬ නැඟුවෝ ය. සමිඳාණන්ගේ ආත්මානුභාවය බලවත් ලෙස සම්සොන් කෙරෙහි පැමිණියේ ය. ඔහුගේ අත් බැඳ තිබුණු කඹ ගින්නෙන් දැවී ගිය හණ මෙන් විය. ඔහුගේ අත්වලින් බැඳුම් ද ලිහී වැටුණේ ය.</verse>
				<verse number="15">ඔහු කොටළුවෙකුගේ අලුත් හකු ඇටයක් දැක අත දිගු කොට එය ගෙන, එයින් මිනිසුන් දහස්දෙනෙකු මැරී ය.</verse>
				<verse number="16">එවිට සම්සොන් මෙසේ කී ය: “කොටළු හකු ඇටයකින්, කොටළුවන් මෙන් ඔවුන් මැරීමි; කොටළු හකු ඇටයකින්, මිනිසුන් දහසක් මැරීමි.”</verse>
				<verse number="17">ඔහු මෙසේ කී පසු තමාගේ අතෙන් හකු ඇටේ වීසි කොට, ‘හකු ඇට හෙළ’ යන අර්ථය ඇති රාමත්-ලෙහි යන නම එතැනට තැබී ය.</verse>
				<verse number="18">එවිට ඔහු ඉතා පිපාසිත ව, සමිඳාණන් වහන්සේට යාච්ඤා කොට, “ඔබේ මෙහෙකරුවා ලවා ඔබ ම මේ මහා ගැළවීම දුන් සේක; දැන් මම පිපාසාවෙන් නැසී අචර්මඡේදිතයන්ගේ අතට අසු වන්නෙම් දැ”යි කීවේ ය.</verse>
				<verse number="19">එවිට දෙවියන් වහන්සේ පොළොවෙහි වළක් විවර කළ සේක. ඒ වළ ලෙහියෙහි ඇත. එයින් වතුර නික්මුණේ ය. සම්සොන් එයින් බී ශක්තිය ලැබ ප්‍රාණවත් විය. එබැවින් ඒ ස්ථානයට ‘හඬගැසූ අයගේ උල්පත’ යන අර්ථය ඇති එන්-හක්-කෝරේ යන නම තබන ලදී. එය අද දවස දක්වා ලෙහිය නගරයේ දක්නට තිබේ.</verse>
				<verse number="20">පිලිස්තිවරුන් සිටි කාලයේ දී විසි අවුරුද්දක් සම්සොන් ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය.</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">සම්සොන් ගාසා නගරයට ගොස් එහි වෙසඟනක දැක ඈ වෙත ගියේ ය.</verse>
				<verse number="2">“සම්සොන් මෙහි අවුත් සිටී ය”යි ගාසා වැසියන්ට දන්වන ලද්දේ ය. එවිට ඔව්හු සම්සොන් වට කොට ඔහු අල්ලන පිණිස නුවර දොරටුව ළඟ රාත්‍රිය මුළුල්ලෙහි රැක සිටියෝ ය. “පහන් වනතුරු අපි සිටිමු. එවිට අපි ඔහු මරන්නෙමු”යි රාත්‍රිය මුළුල්ලෙහි නිශ්චල ව සිටියෝ ය.</verse>
				<verse number="3">සම්සොන් මධ්‍යම රාත්‍රිය දක්වා නිදා හිඳ, රෑ මැදියම් වේලේ නැඟිට, නුවර දොරටුවේ දොරවල් ද උළුවහු කණු දෙක ද අගුල් ආදිය ද සමඟ උගුලා කර පිට තබාගෙන හෙබ්‍රොන් ඉදිරිපිට තිබෙන කන්ද මුදුනට ගියේ ය.</verse>
				<verse number="4">ඉන්පසු සම්සොන් සෝරෙක් නම් මිටියාවතේ සිටි දෙලීලා නම් ස්ත්‍රියකට ප්‍රේම කෙළේ ය.</verse>
				<verse number="5">පිලිස්තිවරුන්ගේ අධිපතීහු ඈ ළඟට අවුත් ඈට කතා කොට, “ඔබ ඔහු චාටුවෙන් පොළඹවා ඔහුගේ යෝධ ශක්තිය තිබෙන්නේ කොතැන්හි ද කියාත්, අප ඔහුට පීඩා කිරීමට ඔහු බැඳ තබන පිණිස ඔහු දමනය කරන්නට පුළුවන් කෙසේ ද කියාත් දැනගන්න. එවිට අපි එක් එක්කෙනා රිදී එක්දහස් එකසියයක් බැගින් ඔබට දෙන්නෙමු”යි කීවෝ ය.</verse>
				<verse number="6">දෙලීලා සම්සොන්ට කතා කොට, “ඔබේ යෝධ ශක්තිය තිබෙන්නේ කොතැන ද කියාත්, ඔබ දමනය කරන පිණිස ඔබ බඳින්නට පුළුවන් කුමකින් ද කියාත් මට කරුණාකර කියන්නැ”යි කීවා ය.</verse>
				<verse number="7">සම්සොන් පිළිතුරු දෙමින්, “නොවේළූ අලුත් දුනු ලණු සතකින් මා බැන්දොත්, මා බල හීන වී සාමාන්‍ය මිනිසෙකු මෙන් වනු ඇතැ”යි ඈට කී ය.</verse>
				<verse number="8">එවිට පිලිස්තිවරුන්ගේ අධිපතීහු නොවේළූ අලුත් දුනු ලණු සතක් ඈට ගෙනවුත් දුන්හ. ඈ එයින් ඔහු බැන්දා ය.</verse>
				<verse number="9">මිනිස්සු ගෙයි ඇතුළු කාමරයක සැඟවී බලාගෙන සිටියෝ ය. ඈ කතා කොට, “සම්සොන්, පිලිස්තිවරු ඔබ අල්ලන්න එති”යි ඔහුට කෑ ගසා කීවා ය. එවිට ඔහු, හණ නූලක් ගින්න වැදුණු විට ම කැඩෙන්නාක් මෙන් ඒ දුනු ලණු කඩා දැමුවේ ය. එබැවින් ඔව්හු ඔහුගේ යෝධ ශක්තියේ රහස නොදත්හ.</verse>
				<verse number="10">දෙලීලා යළිත් සම්සොන්ට කතා කොට, “ඔබ මා රවටා බොරු කීවෙහි ය; දැන්වත් ඔබ බඳින්න පුළුවන් කුමකින් ද කියා මට කියන්නැ”යි කීවා ය.</verse>
				<verse number="11">ඔහු පිළිතුරු දෙමින්, “කිසි වැඩකට පාවිච්චි නොකළ අලුත් කඹවලින් මා බැන්දොත්, මා බල හීන වී සාමාන්‍ය මිනිසෙකු මෙන් වනු ඇතැ”යි ඈට කීවේ ය.</verse>
				<verse number="12">එවිට දෙලීලා අලුත් කඹ ගෙන ඔහු බැඳ, “සම්සොන්, පිලිස්තිවරු ඔබ අල්ලන්නට එති”යි ඔහුට කෑ ගසා කීවා ය. මිනිස්සු ද ඇතුළු ගෙයි සැඟවී බලා සිටියෝ ය. ඔහු තමාගේ අත් බැඳ තිබූ කඹ නූල් පොටක් මෙන් කඩා දැමුවේ ය.</verse>
				<verse number="13">එවිට දෙලීලා සම්සොන්ට කතා කොට, “ඔබ මේ වන තෙක් මා රවටා මට බොරු කීවෙහි ය. දැන් ඉතින් ඔබ බැඳ තබන්නට පුළුවන් කුමකින් දැ යි කියන්නැ”යි කීවා ය. ඔහු පිළිතුරු දෙමින්, “ඔබ මාගේ හිසේ කෙස් රොදවල් සත රෙදි වියමන සමඟ යන්ත්‍රයට ගොතා ඇබයකින් එය තද කළොත්, මා සාමාන්‍ය මිනිසෙකු මෙන් බල හීන වනු ඇතැ”යි කී ය.</verse>
				<verse number="14">දෙලීලා ඔහු නින්දට පමුණුවා, ඔහුගේ කෙස් රොදවල් සත ගෙන, රෙදි වියමනත් සමඟ ඒවා ගොතා, ඇබයකින් තද කර, “සම්සොන්, පිලිස්තිවරු ඔබ අල්ලන්නට එති”යි කෑ ගැසුවා ය. එහෙත් ඔහු පිබිද, ඔහුගේ හිස කෙස් ද රෙදි වියන යන්ත්‍රය ද ඇබය ද අහකට ඇදගත්තේ ය.</verse>
				<verse number="15">එවිට ඈ, “ඔබේ සිත මට බැඳී නැති විට ඔබ මට ප්‍රේම කරනවා කියා කියන්නේ කෙසේ ද? ඔබ දැන් මා තුන්වරක් රැවටුවෙහි ය. ඔබේ යෝධ ශක්තිය තිබෙන තැන මට නොකීවෙහි යැ”යි ඔහුට කීවා ය.</verse>
				<verse number="16">ඉන්පසු ඈ සෑම දා ම ඇගේ ඉල්ලීමෙන් ඔහුට පෙරැත්ත කළා ය. ඒ නිසා මැරෙන තරමට ඔහුගේ ජීවිතය ඔහුට එපා විය.</verse>
				<verse number="17">එබැවින් ඔහු රහස ඈට දන්වමින් ඈට මෙසේ කීවේ ය: “මා මවු කුස පටන් දෙවියන් වහන්සේට කැප වූ නාසරීයයෙකු බැවින් දැළි පිහියක් මාගේ හිසට ළං නොකරන ලද්දේ ය. මාගේ හිස බූගෑවොත්, මාගේ යෝධ ශක්තිය මාගෙන් නැති වී යන්නේ ය. මා ද බල හීන වී සාමාන්‍ය මිනිසෙකු මෙන් වනු ඇතැ”යි කීවේ ය.</verse>
				<verse number="18">සම්සොන් තමාගේ සිතේ තිබුණු සම්පූර්ණ රහස ඈට කී බව දෙලීලා දැන, පිලිස්තිවරුන්ගේ අධිපතීන් කැඳවමින්, “මේ වතාවේ දී එන්න; මන්ද, ඔහු තමාගේ සිතේ තිබෙන සම්පූර්ණ රහස මට කියා තිබේ ය”යි දන්වා යැව්වා ය: එවිට පිලිස්තිවරුන්ගේ අධිපතීහු මුදල් රැගෙන ඈ ළඟට ආහ.</verse>
				<verse number="19">ඈ තමාගේ උකුල පිට ඔහු නිදි කරවා, මිනිසෙකු කැඳවා, ඔහුගේ හිසේ කෙස් රොදවල් සත කපා දමා, ඔහු පුබුදුවන්නට ඔහුට ගැසූ නමුත්, ඔහුගේ ශක්තිය ඔහුගෙන් පහ ව ගොස් තිබුණේ ය.</verse>
				<verse number="20">ඈ ද, “සම්සොන්, පිලිස්තිවරු ඔබ අල්ලන්නට එති”යි කීවා ය. එවිට සම්සොන් නින්දෙන් පිබිද, සමිඳාණන් වහන්සේ තමා කෙරෙන් අහක් ව ගිය බව නොදැන, වෙන වතාවල දී මෙන් පිටතට ගොස් බැඳුම්වලින් නිදහස් වන්නෙමි”යි සිතුවේ ය.</verse>
				<verse number="21">එහෙත්, පිලිස්තිවරු ඔහු අල්ලාගෙන, ඔහුගේ ඇස් උගුලාදමා, ගාසා නගරයට ගෙන ගොස්, ලෝකඩ දම්වැල්වලින් ඔහු බැන්දෝ ය.</verse>
				<verse number="22">ඔහු හිරගෙයි ධාන්‍ය ඇඹරීමට යොදවන ලදී. එසේ වුවත්, ඔහුගේ හිස කෙස් කපා දමනු ලැබූ පසු, යළිත් ඒවා වැඩෙන්නට පටන්ගත්තේ ය.</verse>
				<verse number="23">පිලිස්තිවරුන්ගේ අධිපතීහු තමන්ගේ දෙවි වන දාගොන්ට මහා පූජාවක් ඔප්පු කරන්නටත්, ප්‍රීති වන්නටත් රැස් වූ හ. “අපේ දෙවියෝ අපේ සතුරා වූ සම්සොන් අප අතට පාවා දුන්නාහ”යි ඔව්හු කීවෝ ය.</verse>
				<verse number="24">සෙනඟ සම්සොන් දුටු කල, ඔවුන්ගේ දෙවියන්ට ප්‍රශංසා කළෝ ය. “අපේ දෙවියෝ අපේ දේශය නාස්ති කළ, බොහෝ දෙනෙකු මරා දැමූ, අපේ සතුරා අපේ අතට පාවා දුන්නාහ”යි කී හ.</verse>
				<verse number="25">ඔවුන් ප්‍රීතියෙන් පිනා ගිය කල, “අප විනෝද කරන පිණිස සම්සොන් අඬගසාගෙන එන්න” කියා ඔව්හු හිරගෙයින් ඔහු ගෙන්වා ගත්තෝ ය. ඔහු ඔවුන් ඉදිරියෙහි ක්‍රීඩා කෙළේ ය. ඔව්හු කුළුණු අතරේ ඔහු සිටෙවුවෝ ය.</verse>
				<verse number="26">සම්සොන් තමාගේ අත අල්ලාගෙන සිටි තරුණයාට කතා කොට, “මේ ගෘහය පිහිටා තිබෙන කුළුණුවලට මා හාන්සි වන පිණිස ඒවාට අත ගසා බලන්නට මට ඉඩ දෙන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="27">ඒ ගෘහය ස්ත්‍රී පුරුෂයන්ගෙන් පිරී තිබුණේ ය. පිලිස්තිවරුන්ගේ සියලු අධිපතියෝ ද එහි සිටියෝ ය. පියස්ස උඩ ස්ත්‍රී පුරුෂයෝ තුන්දහසක් පමණ සම්සොන්ගේ විනෝද ක්‍රීඩා නරඹමින් සිටියෝ ය.</verse>
				<verse number="28">සම්සොන් සමිඳාණන් වහන්සේට යාච්ඤා කොට, “අනේ, දෙවි සමිඳාණන් වහන්ස, මා සිහි කළ මැනව. අනේ සමිඳුනි, මාගේ ඇස් දෙක උගුලා දැමූ නිසා, පිලිස්තිවරුන්ගෙන් එක වරට ම පළිගන්න පිණිස මේ වතාවේ පමණක් මා බලවත් කළ මැනවැ”යි කීවේ ය.</verse>
				<verse number="29">එවිට සම්සොන් ගෘහය පිහිටා තිබුණු මැද කුළුණු දෙක, එකක් දකුණතින් ද එකක් වමතින් ද අල්ලා තමාගේ මුළු ශක්තිය යොදා,</verse>
				<verse number="30">පිලිස්තිවරුන් සමඟ මමත් නසිම්වා”යි කියා තමාගේ මුළු ශක්තියෙන් ඉදිරියට නැඹුරු වූයේ ය. එවිට ගෘහය, අධිපතීන් සහ එහි සිටි සියලු සෙනඟ පිට කඩාවැටුණේ ය. මෙසේ ඔහු ජීවත් ව සිටිය දී මැරූ අයට වඩා ඔහුගේ මරණයේ දී මැරූ අයගේ ගණන වැඩි විය.</verse>
				<verse number="31">එවිට ඔහුගේ සහෝදරයෝ ද ඔහුගේ පියාගේ මුළු පවුල ද ගොස් ඔහු ගෙනවුත්, ශොරා ද එෂ්තායොල් ද අතරේ තිබෙන ඔහුගේ පිය වූ මානෝවාගේ සොහොන් පොළේ තැන්පත් කළෝ ය. සම්සොන් විසි අවුරුද්දක් ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය.</verse>
			</chapter>
			<chapter number="17">
				<verse number="1">එප්‍රායිම් කඳු රටේ මීකා නම් මිනිසෙක් සිටියේ ය.</verse>
				<verse number="2">ඔහු සිය මවට කතා කොට, “ඔබේ රිදී කාසි එක්දහස් එකසියය සොරකම් කරනු ලැබූ විට, ඔබ සොරා පිට සාපයක් තැබුවෙහි ය. ඔබ සාප කරනවා මට ඇසිණි. බලන්න, ඒ කාසි මා ළඟ ඇත. ඒවා ගත්තේ මම ය”යි කීවේ ය. ඔහුගේ මව, “මාගේ පුත්‍රය, සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක්වා”යි කීවා ය.</verse>
				<verse number="3">ඔහු තමාගේ මවට රිදී කාසි එක්දහස් එකසියය නැවත දුන්නේ ය. එවිට ඔහුගේ මවු කතා කොට, “කැපූ රූපයක් ද වාත්තු පිළිමයක් ද සෑදීමට මම මේ රිදී මාගේ ම අතින් මාගේ පුත්‍රයා වෙනුවෙන් සමිඳාණන් වහන්සේට සැබැවින් ම කැප කෙළෙමි. දැන් ඒවා මම නැවත ඔබට දෙමි”යි කීවා ය.</verse>
				<verse number="4">ඔහු ඒ මුදල නැවත ඔහුගේ මවට දුන් කල, ඔහුගේ මව රිදී කාසි දෙසියයක් රැගෙන කම්කරුවෙකුට දුන්නා ය. ඔහු එයින් කැපූ රූපයක් ද වාත්තු පිළිමයක් ද සෑදුවේ ය. ඒවා මීකාගේ ගෙයි තිබුණේ ය.</verse>
				<verse number="5">මීකා නම් මේ මිනිසාට දේවාලයක් තිබුණේ ය. ඔහු ඒපොද් සැට්ටයක් ද තෙරපීම් රූප ද සාදා තමාට පූජකයෙකු ව සිටින පිණිස තමාගේ පුත්‍රයෙකු පත් කෙළේ ය.</verse>
				<verse number="6">ඒ කාලයේ දී ඉශ්රායෙල්හි රජ කෙනෙක් නොසිටියේ ය. එක් එක්කෙනා තම තමාට රිසි දේ කෙළේ ය.</verse>
				<verse number="7">ජුදා පෙළපතට අයිති වූ ජුදයේ බෙත්ලෙහෙමේ සිට පැමිණි එක්තරා ලෙවීය තරුණයෙක් සිටියේ ය. ඔහු එහි ටික කලකට වාසය කළ කෙනෙකි.</verse>
				<verse number="8">ඒ මිනිසා විසීමට තැනක් සොයන පිණිස ජුදයේ බෙත්ලෙහෙමෙන් පිටත් ව ගොස්, ගමන් කරනුයේ, එප්‍රායිම් කඳු රටේ මීකාගේ ගෙදරට පැමිණියේ ය.</verse>
				<verse number="9">“ඔබ කොතැනින් ආවෙහි දැ”යි මීකා ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “මම ජුදයේ බෙත්ලෙහෙමේ ලෙවීවරයෙක්මි; මට විසීමට තැනක් සොයා යමි”යි පිළිතුරු දුන්නේ ය.</verse>
				<verse number="10">එවිට මීකා, “මා සමඟ වාසය කර, මට පිය කෙනෙකු ද පූජකයෙකු ද වන්න; මම ඔබට අවුරුදු පතා රිදී කාසි දසයක් හා ඇඳුම් කුට්ටමක් ද කෑම ද දෙන්නෙමි”යි ඔහුට කීවේ ය.</verse>
				<verse number="11">එවිට ලෙවීවරයා ඇතුළු වී මීකා සමඟ වාසය කරන්නට සතුටු විය. ඔහු වනාහි මීකාට තමාගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු මෙන් විය.</verse>
				<verse number="12">මීකා ඒ ලෙවීවරයා පූජකයා වශයෙන් පත් කෙළේ ය. ලෙවීවරයා ඔහුගේ ගෙයි විසී ය.</verse>
				<verse number="13">මීකා කතා කරමින්, “ලෙවීවරයෙකු මට පූජකකමට සිටින නිසා සමිඳාණන් වහන්සේ මට යහපත කරන සේකැ යි දැන් දනිමි”යි කී ය.</verse>
			</chapter>
			<chapter number="18">
				<verse number="1">ඒ කාලයේ ඉශ්රායෙල්හි රජ කෙනෙක් නොසිටියේ ය. තවද, ඒ දවස්වල දී දාන් ගෝත්‍රය තමන්ට වාසය කිරීම පිණිස ප්‍රදේශයක් සෙව්වෝ ය. එසේ කෙළේ, ඒ දවසේ ඒ වන තෙක් ඉශ්රායෙල් ගෝත්‍ර අතරේ ඔවුන්ට උරුමයක් ලැබී නොතිබුණ නිසා ය.</verse>
				<verse number="2">දාන් වැසියෝ දේශයෙහි ඔත්තු බලන පිණිස, තමන්ගේ සියලු සෙනඟ අතරෙන් තමන්ගේ ම පෙළපෙත් වික්‍රමාන්විත මිනිසුන් පස්දෙනෙකු තෝරාගෙන, ශොරා ද එෂ්තායොල් ද සිට යවමින්, “ඔබ ගොස් දේශයෙහි ඔත්තු බලන්නැ”යි ඔවුන්ට කීවෝ ය. ඔව්හු එප්‍රායිම් කඳු රටේ මීකාගේ ගෙට අවුත් එහි නවාතැන් ගත්තෝ ය.</verse>
				<verse number="3">ඔව්හු මීකාගේ නිවෙස ළඟ සිටිය දී, ලෙවීවරයා වන තරුණයාගේ කටහඬ ඇඳින, එහි ගොස් ඔහුට කතා කොට, “ඔබ මෙහි ගෙනාවේ කවරෙක් ද? මෙතැන ඔබ කරන්නේ කුමක් ද? මෙහි ඔබේ වගකීම කුමක් දැ”යි ඇසුවෝ ය.</verse>
				<verse number="4">“මීකා මට මේ මේ දේ කර ඇත. මා ඔහුගේ පූජකයා ව සිටින පිණිස ඔහු මට වැටුපක් ගෙවන්නේ යැ”යි ඔහු ඔවුන්ට කීවේ ය.</verse>
				<verse number="5">ඔව්හු ඔහුට කතා කොට, “අප යන මේ ගමන සඵල වේ ද කියා අප දැනගන්න පිණිස දෙවියන් වහන්සේගෙන් විමසන්නැ”යි කී හ.</verse>
				<verse number="6">“ශාන්ති සිතින් යන්න. ඔබ යන ගමන සමිඳාණන් වහන්සේගේ ආරක්ෂාව යටතේ තිබේ යැ”යි පූජකයා ඔවුන්ට කීවේ ය.</verse>
				<verse number="7">එවිට ඒ පස්දෙනා පිටත් ව ගොස්, ලායිෂ්ට පැමිණ, එහි සිටින සෙනඟ ආරක්ෂා සහිත ව, සීදොන් වැසියන් හා සමාන ව සාමකාමී ව ද නිශ්චල ව ද වාසය කරන බව දුටුවෝ ය. ඔවුන්ට කිසි අගහිඟයක් තිබුණේ නැත. ඔව්හු සීදොන්වරුන්ගෙන් ඈත් ව වාසය කළහ. අරමීයයන් සමඟ ඔවුන්ට කිසි ගනුදෙනුවක් නො වී ය.</verse>
				<verse number="8">ඉන්පසු ඔව්හු ශොරාහි ද එෂ්තායොල්හි ද සිටි තමන්ගේ සහෝදරයන් වෙත පෙරළා ආවෝ ය. ඔවුන්ගේ සහෝදරයෝ ඔවුන්ට කතා කොට, “ඔබ සොයාගත් තොරතුරු මොනවා දැ”යි ඇසුවෝ ය.</verse>
				<verse number="9">ඔව්හු පිළිතුරු දෙමින්, “අපි පිටත් වී ගොස් ඔවුන්ට පහර දෙමු. මන්ද, ඒ රට ඉතා යහපත් බව අපි දුටිමු. කිසිත් නොකර මෙහි සිටින්නේ මන් ද? ඒ රටට ඇතුළු වී එය හිමි කරගන්න පිණිස යන්නට මැළි නොවන්න.</verse>
				<verse number="10">ඔබ ගිය විට, ආරක්ෂා රහිත සෙනඟක් කරා ඔබ පැමිණෙන්නහු ය. ඒ රට විශාල ය. දෙවියන් වහන්සේ ඔබ අතට ඒ රට දී තිබේ. එය පොළොවේ තිබෙන කිසි දෙයකින් හිඟයක් නැති ස්ථානයකැ”යි කී හ.</verse>
				<verse number="11">එවිට එතැනින් දාන්ගේ පෙළපතේ සෙනඟ හයසියයක් සන්නාහ සන්නද්ධ ව ශොරා ද එෂ්තායොල් ද සිට පිටත් ව ගියෝ ය.</verse>
				<verse number="12">ඔව්හු ජුදයේ තිබෙන කිරියත්-ජෙයාරීම්හි කඳවුරු බැඳගත්තෝ ය. ඒ නිසා ඒ ස්ථානයට අද දක්වා දාන්ගේ කඳවුර යන අර්ථය ඇති මහනේ-දාන් ය යි කියති. එය පිහිටා තිබෙන්නේ කිරියත්-ජෙයාරීම්ට බටහිරෙන් ය.</verse>
				<verse number="13">ඔව්හු එතැනින් එප්‍රායිම් කඳු රටට ගොස් මීකාගේ නිවෙස ළඟට පැමිණියෝ ය.</verse>
				<verse number="14">එවිට ලායිෂ් රටට ඔත්තු බලන්න ගිය පස්දෙනා තමන්ගේ සහෝදරයන්ට කතා කොට, “මේ ගෙවල ඒපොද් සැට්ටයක් ද තෙරපීම් රූප ද කැපූ රූපයක් ද වාත්තු පිළිමයක් ද තිබෙන බව ඔබ දන්නහු ද? ඉතින් දැන් ඔබ කළ යුතු දේ කල්පනා කරන්නැ”යි කී හ.</verse>
				<verse number="15">එබැවින් ඔව්හු හැරී ගොස්, තරුණ ලෙවීවරයා සිටි මීකාගේ නිවෙසට පැමිණ ඔහුගේ සැප පහසු විචාළෝ ය.</verse>
				<verse number="16">සන්නාහ සන්නද්ධ ව සිටි දාන්වරුන් වන ඒ මිනිස්සු හයසියදෙනා දොරකඩ ළඟ සිටියෝ ය.</verse>
				<verse number="17">රටේ ඔත්තු බලන පිණිස ගිය පස්දෙනා නැඟී ගොස් නිවෙසට ඇතුළු ව කැපූ රූපය ද ඒපොද් සැට්ටය ද තෙරපීම් රූපය ද වාත්තු පිළිමය ද ගත්තෝ ය. පූජකයා සහ සන්නාහ සන්නද්ධ හයසියදෙනා දොරකඩ ළඟ සිටියෝ ය.</verse>
				<verse number="18">ඔවුන් මීකාගේ ගෙට ඇතුළු ව කැපූ රූපය ද ඒපොද් සැට්ටය ද තෙරපීම් රූපය ද වාත්තු පිළිමය ද පිටතට ගෙනා විට, පූජකයා, “ඔබ කුමක් කරන්නහු දැ”යි ඔවුන්ගෙන් ඇසී ය.</verse>
				<verse number="19">ඔව්හු පිළිතුරු දෙමින්, “නිශ්ශබ්ද ව අතින් කට වසාගෙන අප සමඟ ගොස්, අපට පියෙකු ද පූජකයෙකු ද වන්න. එක මිනිසෙකුගේ පවුලකට පූජකයෙකු වීමට වඩා ඉශ්රායෙල් ගෝත්‍රයකටත්, පෙළපතකටත් පූජකයෙකු වීම හොඳ නොවේ දැ”යි ඇසූ හ.</verse>
				<verse number="20">එවිට පූජකයාගේ සිත සතුටු ව ඔහු ඒපොද් සැට්ටය ද තෙරපීම් රූපය ද වාත්තු රූපය ද රැගෙන සෙනඟ අතරට ගියේ ය.</verse>
				<verse number="21">මෙසේ ඔව්හු ආපසු හැරී බාලයන් ද ගවමහිෂයන් ද බඩු ද පෙරටු කොටගෙන ගියෝ ය.</verse>
				<verse number="22">ඔවුන් මීකාගේ නිවෙසින් ඈතට ගිය කල, මීකාගේ නිවෙස අසල නිවෙස්වල මිනිස්සු එක්රැස් ව දාන්වරුන් පසුපස ගොස්, ඔවුන්ට ළං ව මොරගැසුවෝ ය.</verse>
				<verse number="23">ඔව්හු හැරී බලා, “මිනිසුන් රැස් කර ගෙන එන්නට ඔබට සිදු වී තිබෙන්නේ කුමක් දැ”යි මීකාගෙන් ඇසූහ.</verse>
				<verse number="24">ඔහු පිළිතුරු දෙමින්, “මා සෑදු දේවතාවන් ද මාගේ පූජකයා ද ඔබ ගෙන යන්නහු ය. මට තවත් ඉතිරි ව තිබෙන්නේ කිමෙක් ද? ‘ඔබට සිදු වී තිබෙන්නේ කුමක් දැ’යි ඔබ මාගෙන් අසන්නේ කෙසේ දැ”යි ඇසී ය.</verse>
				<verse number="25">දාන්වරු ඔහුට පිළිතුරු දෙමින්, “තවත් කතා නොකරන්න, කතා කළොත්, රෞද්‍ර මිනිසුන් ඔබ වෙත එන්නට පුළුවන. එවිට ඔබේ ජීවිතය ද ඔබේ ගෙයි වැසියන්ගේ ජීවිත ද හානි වනු ඇතැ”යි කියා යන්නට ගියෝ ය.</verse>
				<verse number="26">ඔවුන් තමාට වඩා බලවත් බව මීකා දැක ආපසු හැරී තමාගේ ගෙදරට ගියේ ය.</verse>
				<verse number="27">ඔව්හු මීකා සාදා තිබුණු දේ රැගෙන, ඔහු සමඟ සිටි පූජකයා කැටුව ගොස්, සාමකාමී ව ද සුරක්ෂිත ව ද සිටි ලායිෂ්හි සෙනඟ වෙත පැමිණ, කඩුවෙන් ඔවුන්ට පහර දී නුවර ගිනි ලෑවෝ ය.</verse>
				<verse number="28">ඒ නුවර සීදොන් නුවරින් ඈත් ව තිබුණ නිසා ද කිසිවෙකු සමඟ ඔවුන්ගේ ගනුදෙනුවක් නොවූ නිසා ද ඔවුන් ගළවන්නට කිසිවෙක් නො වූ හ. ඒ නුවර බෙත්-රෙහොබ්හි පිහිටි මිටියාවතේ තිබුණේ ය. ඔව්හු ඒ නුවර ගොඩනඟා එහි වාසය කළෝ ය.</verse>
				<verse number="29">ඉශ්රායෙල්ට දාව උපන් තමන්ගේ පියා වූ දාන්ගේ නාමය අනුව ඔව්හු ඒ නගරයට දාන් යන නාමය තැබුවෝ ය. කලින් ඒ නගරයේ නම ලායිෂ් ය.</verse>
				<verse number="30">දාන්වරු වාත්තු රූපය පිහිටුවා ගත්තෝ ය. මෝසෙස්ගේ පුත්‍රයා වන ගේර්ෂොම්ගේ පුත් ජොනාතන් ද ඔහුගේ පුත්‍රයෝ ද රට වැසියන් වහල්කමට ගෙනයනු ලැබූ දවස දක්වා දාන් ගෝත්‍රයට පූජකයෝ වූවෝ ය.</verse>
				<verse number="31">මීකා විසින් සාදන ලද වාත්තු රූපය ඔව්හු පිහිටුවාගත්හ. දෙවියන් වහන්සේගේ මණ්ඩපය ෂිලෝහි තිබුණ තාක් කල් එය එහි තිබුණේ ය.</verse>
			</chapter>
			<chapter number="19">
				<verse number="1">ඉශ්රායෙල්හි රජ කෙනෙකු නොසිටි කාලයේ දී එප්‍රායිම් කඳු රටේ එහා පැත්තේ ලෙවීවරයෙක් වාසය කෙළේ ය. ඔහු ජුදයේ බෙත්ලෙහෙමෙන් උපභාර්යාවක සරණ පාවාගත්තේ ය.</verse>
				<verse number="2">ඔහුගේ උපභාර්යාව ඔහුට විරුද්ධ ව වේශ්‍යාකම් කොට, ඔහු අත්හැර ජුදයේ බෙත්ලෙහෙමේ ඇගේ පියාගේ ගෙදරට ගොස් එහි හාර මාසයක් සිටියා ය.</verse>
				<verse number="3">ඇගේ පුරුෂයා කරුණාවෙන් කතා කර ඈ නැවත ගෙනෙනු පිණිස තම වැඩකාරයා ද කොටළුවන් දෙදෙනෙකු ද සමඟ ඈ කරා ගියේ ය. ඈ තමාගේ පියාගේ ගෙදරට ඔහු කැඳවාගෙන ආවා ය. තරුණියගේ පියා ඔහු දුටු විට ඔහු හමුවීමට ප්‍රීතියෙන් ආවේ ය.</verse>
				<verse number="4">ඔහුගේ මාමා වන තරුණියගේ පියා ඔහු නවත්වා ගත්තේ ය. ඔහු තුන් දවසක් ඔහු සමඟ විසී ය. එලෙස ඔව්හු කමින් බොමින් එහි නැවතී සිටියෝ ය.</verse>
				<verse number="5">සතර වන දින අලුයම ඔහු නැඟිට පිටත් වී යන්නට සූදානම් විය. තරුණියගේ පියා කතා කොට, “කෑම ටිකක් කා ඔබේ සිත සනසාගෙන පසුව ඔබට යන්නට පුළුවනැ”යි තම බෑණාට කීවේ ය.</verse>
				<verse number="6">මෙසේ ඔව්හු දෙදෙන හිඳගෙන එක් ව ආහාර පාන ගත්හ. තවද, තරුණියගේ පියා ඒ මිනිසාට කතා කොට, “අනේ, අද රාත්‍රියේත් කරුණාකර නවතින්න; එසේ නැවතී සොම්නස් වන්නැ”යි ඒ මිනිසාට කීවේ ය.</verse>
				<verse number="7">ඒ මිනිසා යන්නට සැරසුණු විට, ඔහුගේ මාමා පෙරැත්ත කෙළෙන් ඔහු නැවතුණේ ය.</verse>
				<verse number="8">පස් වන දා අලුයම ඔහු යන්නට සැරසුණ විට, තරුණියගේ පියා ඔහුට කතා කොට, “අනේ ඔබේ සිත සනසාගන්න, සවස් වන තෙක් නවතින්නැ”යි කීවේ ය. එබැවින් ඔව්හු දෙදෙන කෑම කෑහ.</verse>
				<verse number="9">ඒ මිනිසා ද ඔහුගේ උපභාර්යාව ද වැඩකාරයා ද යන්නට සැරසුණ විට ඔහුගේ මාමා වන තරුණියගේ පියා ඔහුට කතා කොට, “දැන් සවස් වේගෙන එයි. අනේ, රාත්‍රියේ නැවතී සිටින්න. ඉර බැස යන්නට ළඟ ය. රාත්‍රියේ මෙහි සිට ඔබේ සිත සතුටු කරගෙන හෙට ඔබේ ගමනට වේලාසනින් නැඟිට ගෙදර යන්නට පිටත් වන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="10">එහෙත්, ඒ මිනිසා ඒ රාත්‍රියේ නවතින්නට නොකැමැති ව නැඟිට, සෑදල දැමූ කොටළුවන් දෙදෙනෙකු ද තමාගේ උපභාර්යාව ද රැගෙන ගොස්, ජෙබූස්, එනම්, ජෙරුසලම ඉදිරිපිටට පැමිණියේ ය.</verse>
				<verse number="11">ඔවුන් ජෙබූස් නගරයට ළං වන විට බොහෝ සවස් වී තිබුණේ ය. එවිට වැඩකාරයා, “අපි ගොස් ජෙබුසිවරුන්ගේ මේ නගරයට ඇතුළු වී එහි නවාතැන් ගනිමු”යි තමාගේ ස්වාමියාට කී ය.</verse>
				<verse number="12">ඔහුගේ ස්වාමියා පිළිතුරු දෙමින්, “ඉශ්රායෙල් පුත්‍රයන්ට අයිති නැති අන්‍යයන්ගේ නුවරකට නොගොස් ගිබියාවට යමු”යි ඔහුට කීවේ ය.</verse>
				<verse number="13">තවද, ඔහු කතා කොට, “ගිබියාවෙහි හෝ රාමාහි හෝ නවතින පිණිස ඒ ස්ථානවලින් එකකට ළඟා වමු”යි තමාගේ වැඩ-කාරයාට කීවේ ය.</verse>
				<verse number="14">මෙසේ ඔව්හු තවදුරටත් ගමන් කොට, බෙන්ජමින්ට අයිති ගිබියා පෙදෙසට ළඟා වන විට ඉර බැස ගියේ ය.</verse>
				<verse number="15">ඔව්හු ගිබියාවෙහි නවාතැන් ගන්න පිණිස ඒ දෙසට හැරී ගියෝ ය. ලෙවීවරයා ඇතුළු වී නුවර වීදියේ හිඳගත්තේ ය. මන්ද, කිසිවෙක් නවාතැන් දීමට ඔවුන් ගෙදරට කැඳවා නොගත්හ.</verse>
				<verse number="16">ඒ වේලේ මහලු මිනිසෙක් කෙතේ වැඩ කර සවස් වූයෙන් ආවේ ය. ඒ මිනිසා කඳු රටේ මිනිසෙකි. ඔහු ගිබියාවෙහි වාසය කෙළේ ය. එහෙත්, එහි වැසියෝ බෙන්ජමින්වරු ය.</verse>
				<verse number="17">ඒ මහල්ලා තම හිස ඔසවා නුවර වීදියේ හුන් ඒ මඟියා දැක, “ඔබ කොතැනට යන්නෙහි ද? කොතැන සිට එන්නෙහි දැ”යි ඇසී ය.</verse>
				<verse number="18">ඔහු පිළිතුරු දෙමින්, “අපි ජුදයේ බෙත්ලෙහෙමේ සිට එප්‍රායිම්හි කඳු රටෙහි එහා කෙළවරට යමු. මම එහි වැසියෙක්මි. මම ජුදයේ බෙත්ලෙහෙමට ගියෙමි. මම දැන් ගෙදර යමි. කිසිවෙකු මට මෙහි දී නවාතැන් දෙන්නේ නැත.</verse>
				<verse number="19">අපේ කොටළුවන්ට පිදුරුත්, කෑමත් තිබේ. මට සහ මාගේ උපභාර්යාවට ද මාගේ වැඩකාරයාට ද රොටිත්, මුද්‍රික පානයත් තිබේ. කිසි දෙයකින් අපට අඩුපාඩුවක් නැතැ”යි ඔහුට කීවේ ය.</verse>
				<verse number="20">මහලු මිනිසා කතා කරමින්, “මාගේ ගෙදරට මම ඔබ පිළිගනිමි. ඔබේ සියලු ඕනෑකම් මම සපයා දෙමි. වීදියේ නම් නොසිටින්නැ”යි ඔහුට කීවේ ය.</verse>
				<verse number="21">එවිට ඒ මහලු මිනිසා ඔවුන් තමාගේ ගෙදරට කැඳවාගෙන ගොස්, කොටළුවන්ට කන්නට දුන්නේ ය. ඔව්හු ද තමන්ගේ පාද සෝදාගෙන ආහාර පාන අනුභව කළහ.</verse>
				<verse number="22">ඔවුන් සතුටින් කල් යවන අතර, ඒ නගරයේ දුර්ජනයන් ව සිටි සමහර මිනිස්සු ඒ ගෙදර වට කර සිට, දොරට ගසමින්, ගෘහ මූලිකයා වන මහලු මිනිසාට කතා කොට, “ඔබේ ගෙදරට පැමිණ සිටින මිනිසා සමඟ කම් සැප විඳින්නට ඔහු පිටතට ගෙනෙන්නැ”යි කීවෝ ය.</verse>
				<verse number="23">එවිට ගෘහ මූලිකයා වන මහලු මිනිසා පිටතට ගොස්, ඔවුන්ට කතා කොට, “අනේ සහෝදරයෙනි, එසේ නොවේ වා! එපමණ දූෂ්‍යකම් නොකරන්න. ඒ මිනිසා මාගේ ගෙට පැමිණ සිටිය දී ඔය නින්දිතකම් නොකරන්න.</verse>
				<verse number="24">මෙන්න, මෙහි මාගේ කන්‍යා දුවත්, ඒ මිනිසාගේ උපභාර්යාවත් සිටිති, මම දැන් ඔවුන් පිටතට ගෙනෙමි. ඔවුන් වසඟ කරගෙන ඔබ කැමැති දෙයක් ඔවුන්ට කරන්න. එහෙත්, මේ මිනිසාට ඒ නින්දිතකම නොකරන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="25">එහෙත්, ඒ මිනිස්සු ඔහුට ඇහුම්කන් නුදුන්නෝ ය. එබැවින් ඒ ලෙවීවරයා ඔහුගේ උපභාර්යාව අල්ලාගෙන ඔවුන් වෙත පැමිණෙවුවේ ය. ඔව්හු ඈ සමඟ බලහත්කාරයෙන් එක් වී අලුයම දක්වා මුළු රාත්‍රියේ ම ඈ දූෂණය කොට, පහන් වන විට ඈ යන්නට හැරියෝ ය.</verse>
				<verse number="26">එවිට ඒ ස්ත්‍රිය අලුයම් වේලේ අවුත්, ඇගේ ස්වාමියා සිටි ඒ මිනිසාගේ ගෙයි දොරකඩ වැටී එළි වන තෙක් සිටියා ය.</verse>
				<verse number="27">ඇගේ ස්වාමියා අලුයම නැඟිට ගෙයි දොරවල් ඇර තමාගේ ගමන යන්නට එළියට ගියේ ය. එවිට ඔහුගේ උපභාර්යාව වන ස්ත්‍රිය ගෙයි දොරකඩ වැටී සිටියා ය. ඇගේ අත් එළිපත්ත උඩ තිබුණේ ය.</verse>
				<verse number="28">ඔහු ඈට කතා කොට, “නැඟිටින්න, අපි යමු”යි කී ය. එහෙත්, උත්තරයක් ලැබුණේ නැත. එවිට ඔහු ඈ ඔසවා කොටළුවා පිට තබාගෙන, සිය නිවෙස බලා ගියේ ය.</verse>
				<verse number="29">ඔහු තමාගේ නිවෙසට පැමිණි කල පිහියක් ගෙන, තමාගේ උපභාර්යාවගේ සිරුර ඇට සමඟ කොටස් දොළොසකට කපා, ඉශ්රායෙල්වරුන්ගේ සියලු පළාත්වලට යැව්වේ ය.</verse>
				<verse number="30">ඒ දුටු සියල්ලෝ, “ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් ආ දා පටන් අද දක්වා මෙබඳු දෙයක් සිදු වුණේ වත්, දකින්නට ලැබුණේ වත් නැත. මේ ගැන සිතට ගෙන, සාකච්ඡා කොට තීරණයකට පැමිණෙන්නැ”යි කීවෝ ය.</verse>
			</chapter>
			<chapter number="20">
				<verse number="1">එවිට දාන් සිට බෙයර්-ෂෙබා දක්වා ද ගිලියද් දේශයේ ද සිටි සියලු ඉශ්රායෙල් සෙනඟ පිටත් ව අවුත් එක් කෙනෙකු මෙන් සමිඳාණන් වහන්සේ වෙත මිශ්පාහි රැස් වුණාහ.</verse>
				<verse number="2">දෙවියන් වහන්සේගේ සෙනඟගේ මේ රැස්වීමට ඉශ්රායෙල්හි සියලු ගෝත්‍රවල ප්‍රධානීහු පැමිණ සිටියහ. කඩු රැගත් පාබල සේනාව හාරලක්ෂයක් වූ හ.</verse>
				<verse number="3">ඉශ්රායෙල්වරුන් මිශ්පාට ගිය බව බෙන්ජමින්වරුන්ට සැළ විය. “මේ දුෂ්ටකම සිදු වුණේ කෙසේ ද කියා කියන්නැ”යි ඉශ්රායෙල්වරු ඇසුවෝ ය.</verse>
				<verse number="4">එවිට මරනු ලැබූ ස්ත්‍රියගේ ස්වාමිපුරුෂයා වන ලෙවීවරයා උත්තර දෙමින්, “මාගේ උපභාර්යාවත්, මමත් නවාතැන් ගන්නට බෙන්ජමින්වරුන්ට අයිති ගිබියාවට පැමිණියෙමු.</verse>
				<verse number="5">එවිට ගිබියා වැසියෝ මට විරුද්ධ ව පැමිණ, මා සිටි නිවෙස රාත්‍රියේ වටලාගත්තෝ ය. ඔව්හු මා මරන්නට සිතුවෝ ය. එහෙත්, මාගේ උපභාර්යාව මැරෙන ලෙස ඈට බලහත්කාරකම් කළෝ ය.</verse>
				<verse number="6">එවිට මම මාගේ උපභාර්යාවගේ සිරුර ගෙන, එය කොටස්වලට කපා, ඉශ්රායෙල්වරුන්ට අයිති සියලු පළාත්වලට ඇරියෙමි. එසේ කෙළේ, ඔවුන් ඉශ්රායෙල්හි දුෂ්ටකමක් ද නින්දිතකමක් ද කළ බැවිනි.</verse>
				<verse number="7">ඉශ්රායෙල් ජනයෙනි, ඔබ සියලු දෙනා මෙහි රැස් ව සිටින්නහු ය. මේ කාරණා ගැන සාකච්ඡා කර, දැන් ම මෙහි දී තීරණයක් ගන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="8">එවිට මුළු සෙනඟ එකා මෙන් නැඟිට, කතා කොට, “අපෙන් කිසිවෙක් තමාගේ කූඩාරමට නොයන්නේ ය. කිසිවෙක් තමාගේ ගෙදරට නොයන්නේ ය.</verse>
				<verse number="9">අප දැන් ගිබියාවට කරන දෙය මෙය යි. අපි පස ඇට දමා ගිබියාවට පහර දෙන සෙනඟ තෝරා ගනිමු.</verse>
				<verse number="10">සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් මිනිසුන් සියයකින් දසදෙනෙකු ද දහසකින් සියයක් ද දසදහසකින් දහසක් ද බැගින් තෝරා ගනිමු. ඔව්හු බෙන්ජමින්ට අයිති මිනිසුන් විසින් ඉශ්රායෙල්හි කරන ලද නින්දිතකම ප්‍රකාරයට ඔවුන්ට පහර දෙන්නට යන හමුදාවට කෑම ගෙනෙන්නෝ ය”යි කී හ.</verse>
				<verse number="11">එකී ලෙස සියලු ඉශ්රායෙල් ගෝත්‍ර එකා මෙන් එකට බැඳී ඒ නුවරට විරුද්ධ ව රැස් වූවෝ ය.</verse>
				<verse number="12">ඉශ්රායෙල් ගෝත්‍රවල සෙනඟ බෙන්ජමින් ගෝත්‍රයේ සෑම තැන්වලට පණිවුඩකාරයන් යවමින්, “ඔබ අතරේ කර තිබෙන මේ දුෂ්ටකම කුමක් ද?</verse>
				<verse number="13">ඉතින් අප ගිබියාවෙහි සිටින ඒ දුර්ජනයන් මරා, ඉශ්රායෙල්වරුන් කෙරෙන් නපුර පහකර දමන පිණිස, ඔවුන් අපට පාවා දෙන්නැ”යි කීවෝ ය. එහෙත්, බෙන්ජමින්වරු තමන්ගේ සහෝදර ඉශ්රායෙල්වරුන්ගේ හඬට සවන් දෙන්නට කැමැති නො වූ හ.</verse>
				<verse number="14">බෙන්ජමින්වරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට යන පිණිස නගරවලින් පිටත් ව ගිබියාවට එක්රැස් වූ හ.</verse>
				<verse number="15">ගිබියාවෙහි වැසියන්ගෙන් තෝරාගත් මිනිසුන් සත්සියයක් හැර, නගරවලින් රැස් වූ කඩු රැගත් බෙන්ජමින්වරු විසිහයදහසක් ඒ දවසේ දී ගණන් කරනු ලැබූ හ.</verse>
				<verse number="16">මේ මුළු සෙනඟ අතර තෝරාගත් වමත හුරු මිනිස්සු සත්සියයක් වූ හ. ඔව්හු සියල්ලෝ ම කෙස් ගසක් පමණ වත් නොවරදා ගල් පටියකින් ගල් විදින්නට දක්ෂ අය ය.</verse>
				<verse number="17">බෙන්ජමින්වරුන් හැර, කඩු රැගත් ඉශ්රායෙල්වරු සාරලක්ෂයක් ගණන් කරනු ලැබූ හ. ඔව්හු පලපුරුදු යුද්ධ භටයෝ ය.</verse>
				<verse number="18">ඉශ්රායෙල් සෙනඟ පිටත් ව බෙතෙල්ට ගොස්, “බෙන්ජමින් සෙනඟට විරුද්ධ ව යුද්ධ කරන පිණිස අපෙන් පළමුවෙන් යා යුත්තෝ කවුරු දැ”යි දෙවියන් වහන්සේගෙන් විචාළෝ ය. “ජුදාවරුන් පළමු ව යා යුතු ය”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.</verse>
				<verse number="19">ඉශ්රායෙල් සෙනඟ උදේ නැඟිට ගිබියා ඉදිරිපිට කඳවුරු බැඳගත්තෝ ය.</verse>
				<verse number="20">ඉශ්රායෙල් සෙනඟ බෙන්ජමින්වරුන්ට විරුද්ධ ව යුද්ධයට ගොස්, ගිබියා ළඟ ඔවුන්ට විරුද්ධ ව සටන සඳහා පිළිවෙළින් සැරසී සිටියෝ ය.</verse>
				<verse number="21">එවිට බෙන්ජමින්වරු ගිබියාවෙන් පිටත් ව අවුත්, ඒ දවසේ ඉශ්රායෙල්වරුන්ගේ මිනිසුන් විසිදෙදහසක් විනාශ කර, බිම හෙළා දැමුවෝ ය.</verse>
				<verse number="22">ඉශ්රායෙල්වරු ධෛර්ය වඩා, තමන් පළමු වන දවසෙහි පිළිවෙළින් සිටි ස්ථානයෙහි යළිත් යුද්ධය පිණිස සැරසී සිටියෝ ය.</verse>
				<verse number="23">තවද, ඉශ්රායෙල්වරු ගොස්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සවස් වන තෙක් හඬා, “අපේ සහෝදරයන් වන බෙන්ජමින්වරුන්ට විරුද්ධ ව අප නැවත සටනට යා යුතු දැ”යි සමිඳාණන් වහන්සේගෙන් ඇසූ හ. “ඔවුන්ට විරුද්ධ ව යන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.</verse>
				<verse number="24">ඉශ්රායෙල් සෙනඟ දෙ වන දින බෙන්ජමින්වරුන්ට විරුද්ධ ව ඔවුන්ට ළඟා වූ හ.</verse>
				<verse number="25">එවිට බෙන්ජමින්වරු දෙ වන දා ඔවුන්ට විරුද්ධ ව ගිබියාවෙන් පිටතට අවුත්, යළිත් ඉශ්රායෙල්වරුන්ගෙන් මිනිසුන් දහඅටදහසක් විනාශ කර බිම හෙළුවෝ ය. මේ සියල්ලෝ කඩු හරඹයෙහි දක්ෂ අය වූ හ.</verse>
				<verse number="26">එකල සියලු ඉශ්රායෙල්වරු ද සකල ජනයා ද ගොස් බෙතෙල්ට පැමිණ, එහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හඬමින් සිට, එදා සවස් වන තෙක් නිරාහාර ව සිට, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සහභාගිකමේ පූජා ද දවන යාග පූජා ද ඔප්පු කළෝ ය.</verse>
				<verse number="27">ඒ දවස්වල දී සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව බෙතෙල්හි තිබුණ බැවින් ඔව්හු සමිඳාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසූ හ.</verse>
				<verse number="28">ආරොන්ගේ පුත්‍රයා වන එලෙයාසර්ගේ පුත් පිනෙහාස් ඒ දවස්වල දී ඒ ගිවිසුම් කරඬුව භාර ව සිටියේ ය. ඉශ්රායෙල්වරු කතා කොට, “අප සහෝදරයන් වන බෙන්ජමින්වරුන්ට විරුද්ධ ව අප නැවතත් යුද්ධයට යා යුතු ද නැතහොත් නතර විය යුතු දැ”යි සමිඳාණන් වහන්සේගෙන් ඇසූ හ. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “යන්න, මන්ද, හෙට ඔවුන් නුඹලා අතට පාවා දෙන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="29">ඉශ්රායෙල්වරු ද ගිබියාව වටකර මිනිසුන් සඟවා තැබුවෝ ය.</verse>
				<verse number="30">තුන් වන දා ඉශ්රායෙල්වරු බෙන්ජමින්වරුන්ට විරුද්ධ ව ගොස්, වෙන වතාවල දී මෙන් ගිබියාව ළඟ සැරසී සිටගත්හ.</verse>
				<verse number="31">බෙන්ජමින්වරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව පිටතට අවුත්, නුවරින් ඈත් වී, වෙන වතාවල දී මෙන් සෙනඟට පහර දෙන්නට පටන්ගෙන බෙතෙල්ටත්, ගිබියාවටත් යන මාර්ග දෙකේ දී ඉශ්රායෙල් මිනිසුන් තිස්දෙනෙකු පමණ මැරූ හ.</verse>
				<verse number="32">“පළමු වන වතාවේ දී මෙන් ඔවුන් අප ඉදිරියෙහි පරාජය වනු ඇතැ”යි බෙන්ජමින්වරු කී හ. එහෙත් ඉශ්රායෙල්වරු, “අපි පලා ගොස් ඔවුන් නුවරින් ඈත් කොට, මාවත්වලට පමුණුවා ගනිමු”යි කීවෝ ය.</verse>
				<verse number="33">එවිට සියලු ඉශ්රායෙල්වරු තමන් සිටි තැනින් නැඟිට ගොස් බාල්-තාමාර්හි පිළිවෙළින් සිට ගත්තෝ ය. සැඟවී බලා සිටි ඉශ්රායෙල්වරු ද තමන්ගේ ස්ථානය වූ ගිබියාවෙහි පිට්ටනියෙන් නික්ම ආවෝ ය.</verse>
				<verse number="34">සියලු ඉශ්රායෙල්වරුන්ගෙන් තෝරාගත් මිනිසුන් දසදහසක් ගිබියාව ඉදිරිපිටට ආහ. සටන ඉතා බලවත් විය. එහෙත්, බෙන්ජමින්වරු ඔවුන්ට විපත්තිය ආසන්න ව තිබුණු බව නොදැන සිටියහ.</verse>
				<verse number="35">සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි බෙන්ජමින්වරුන් පරාජය කරවූ සේක. ඉශ්රායෙල් සෙනඟ ඒ දවසේ දී බෙන්ජමින්වරුන්ගෙන් මිනිසුන් විසිපන්දහස් එකසියයක් විනාශ කළෝ ය. මේ සියලු දෙනා කඩු හරඹයෙහි දක්ෂ අය වූ හ.</verse>
				<verse number="36">තමන් පරාජය වන බව බෙන්ජමින්වරුන්ට පෙනී ගියේ ය. ඉශ්රායෙල්වරු වනාහි තමන් ගිබියාවෙහි සඟවා තැබූ මිනිසුන් කෙරෙහි විශ්වාස කළ බැවින්, බෙන්ජමින්වරුන් ඉදිරියෙන් පසු බැස ගියහ.</verse>
				<verse number="37">සැඟවී සිටි මිනිස්සු ද ඉක්මනින් ගිබියාවට විරුද්ධ ව වේගයෙන් පැතිර ගොස් මුළු නගරයට කඩුවෙන් පහර දුන්නෝ ය.</verse>
				<verse number="38">ඉශ්රායෙල්වරුන් ද සැඟවී සිටි අය ද අතර නියම කර තිබුණ ලකුණ නම්, නුවරින් මහත් දුම් කඳක් නැංවීම ය.</verse>
				<verse number="39">එය දුටු විට ඉශ්රායෙල්වරු සටනේ දී ආපසු හැරුණෝ ය. බෙන්ජමින්වරු ඉශ්රායෙල්වරුන්ට පහර දෙන්නට පටන්ගෙන, ඔවුන්ගෙන් තිස්දෙනෙකු පමණ මරා, “පළමු වන සටනේ දී මෙන් ම ඔවුන් සත්තකින් අපට පරාජය වනු ඇතැ”යි කීවෝ ය.</verse>
				<verse number="40">එහෙත්, ලකුණක් වන ඒ දුම් කඳ නගරයෙන් පටන් ගත්තේ ය. බෙන්ජමින්වරු ආපසු හැරී බැලූ කල නගරයේ හැම තැනින් ම දුම් අහසට නඟිනු දුටුවෝ ය.</verse>
				<verse number="41">ඉශ්රායෙල් සෙනඟ ද ආපසු හැරුණෝ ය. එවිට බෙන්ජමින්වරු විපත්තිය තමන් පිට පැමිණ තිබෙන බව දැක කැළඹී,</verse>
				<verse number="42">ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් කාන්තාරයට යන මාර්ගයේ හැරී ගියෝ ය. එහෙත්, සටන ඔවුන් පසුපස්සේ බලවත් ව පැවතුණේ ය. නගරවලින් පිටතට ආ තැනැත්තෝ මැදි ව සිටි අය විනාශ කළෝ ය.</verse>
				<verse number="43">ඔව්හු බෙන්ජමින්වරුන් හැම අතින් ම වට කරගෙන නැගෙනහිර ගිබියාවට පැමිණෙන තුරු ඔවුන් ලුහුබැඳ ගොස්, ඔවුන් නතරවුණ තැනේ දී ඔවුන් පාගා දැමුවෝ ය.</verse>
				<verse number="44">මෙසේ බෙන්ජමින්වරුන්ගෙන් මිනිස්සු දහඅටදහසක් මැරුම්කෑහ. ඔව්හු සියල්ලෝ බලසම්පන්න මනුෂ්‍යයෝ වූ හ.</verse>
				<verse number="45">සෙසු අය කාන්තාරයේ තිබෙන රිම්මොන් පර්වතයට පලා ගියෝ ය. ඔවුන්ගෙන් පන්දහසක් මාවත්වල දී මරනු ලැබූ හ. ඉශ්රායෙල්වරු සෙසු අය ගිදොම් දක්වා ලුහුබැඳ ගොස් ඔවුන්ගෙන් දෙදහසක්දෙනා මැරුවෝ ය.</verse>
				<verse number="46">මෙසේ බෙන්ජමින්වරුන්ගෙන් ඒ දවසේ දී මැරුම්කෑ, කඩු හරඹෙහි දක්ෂ මනුෂ්‍යයෝ විසිපන්දහසක් වූ හ. ඔව්හු සියල්ලෝ බලසම්පන්න මනුෂ්‍යයෝ වූ හ.</verse>
				<verse number="47">එහෙත්, මිනිස්සු හයසියයක් හැරී කාන්තාරයේ තිබෙන රිම්මොන් පර්වතයට පලා ගොස්, රිම්මොන් පර්වතයේ හාර මාසයක් සිටියෝ ය.</verse>
				<verse number="48">ඉශ්රායෙල්වරු නැවත බෙන්ජමින්වරුන් වෙත අවුත්, නගරයේ මිනිසුන්ට ද සතුන්ට ද තමන්ට සම්බ වූ සියල්ලන්ට ද කඩුවෙන් පහර දුන්නෝ ය. ඔව්හු ඒ ප්‍රදේශයේ සියලු නගර ගිනි ලෑවෝ ය.</verse>
			</chapter>
			<chapter number="21">
				<verse number="1">“අපෙන් කිසිවෙක් තමාගේ දුවක බෙන්ජමින් ගෝත්‍රයේ මිනිසෙකුට භාර්යාව වශයෙන් නොදෙන්නේ ය”යි ඉශ්රායෙල් සෙනඟ මිශ්පාහි දී දිවුරා තිබුණේ ය.</verse>
				<verse number="2">සෙනඟ බෙතෙල්ට පැමිණ එහි සවස් වන තෙක් දෙවියන් වහන්සේ ඉදිරියෙහි හිඳ, මහත් ශෝකයකින් ශබ්ද නඟා ඇඬුවෝ ය.</verse>
				<verse number="3">“ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුනි, අද ඉශ්රායෙල්වරුන්ගෙන් එක ගෝත්‍රයක් අඩු වී යන හැටියට මේ දේ ඉශ්රායෙල්හි සිදු වුණේ කුමක් නිසා දැ”යි ඔව්හු ඇසුවෝ ය.</verse>
				<verse number="4">පසු දා සෙනඟ අලුයම නැඟිට පූජාසනයක් ගොඩනඟා දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කළෝ ය.</verse>
				<verse number="5">ඉශ්රායෙල් සෙනඟ කතා කොට, “සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මේ රැස්වීමට නොපැමිණි අය කවුරු දැ”යි ඇසූ හ. ඔවුන් එසේ ඇසුවේ, මිශ්පාහි සමිඳාණන් වහන්සේ වෙත නොයන අය මැරිය යුතු ම ය කියා ඔවුන් තදබල දිවුරුමක් කළ බැවිනි.</verse>
				<verse number="6">ඉශ්රායෙල්වරු තමන්ගේ සහෝදරයන් වන බෙන්ජමින්වරුන් ගැන අනුකම්පා කර, “මේ දවසේ දී ඉශ්රායෙල්වරුන්ගෙන් එක ගෝත්‍රයක් නැති වී ඇත.</verse>
				<verse number="7">ඔවුන්ගෙන් ඉතිරි ව සිටින්නන්ට භාර්යාවන් ලැබෙන පිණිස අපි කුමක් කරමු ද? අපේ දූවරුන් ඔවුන්ට භාර්යාවන් වශයෙන් නොදෙන හැටියට සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි අපි දිවුළෙමු”යි කීවෝ ය.</verse>
				<verse number="8">තවදුරටත් ඔව්හු කතා කරමින්, “ඉශ්රායෙල් ගෝත්‍රවලින් මිශ්පාහි සමිඳාණන් වහන්සේ ඉදිරියට නොපැමිණියේ කවුරු දැ”යි ඇසූ හ. ජාබෙෂ්-ගිලියද්හි සිට කිසිවෙකු රැස්වීමට සහභාගි වන පිණිස කඳවුරට නොපැමිණි බව දැනගත්තෝ ය.</verse>
				<verse number="9">සෙනඟ ගණන් කර බැලූ විට ජාබෙෂ්-ගිලියද් වැසියන්ගෙන් කිසිවෙකු වත් එහි නැති බව පෙනී ගියේ ය.</verse>
				<verse number="10">එබැවින් එහි රැස් වූ බලසම්පන්න මිනිසුන්ගෙන් දොළොස්දහසක් එතැනට යවමින්, ඔවුන් මරන්නට අණ කරමින්, “ඔබ හැම ගොස් ස්ත්‍රීන් ද බාලයන් ද ඇතුළු ව ජාබෙෂ්-ගිලියද්හි වැසියන්ට කඩුවෙන් පහර දෙන්න.</verse>
				<verse number="11">ඔබ කළ යුතු දේ නම්, සියලු පුරුෂයන් ද පුරුෂයන් සමඟ සේවනයෙහි යෙදුණ සියලු ස්ත්‍රීන් ද මුළුමනින් ම විනාශ කර දැමීම ය”යි කීවෝ ය.</verse>
				<verse number="12">පුරුෂයන් හැඳින ඔවුන් සමඟ සේවනයෙහි නොයෙදුණු කන්‍යාවන් හාරසියයක් ජාබෙෂ්-ගිලියද් වැසියන් අතරේ ඔවුන්ට සම්බ වී කානාන් දේශයේ ෂිලෝහි තිබුණු කඳවුරට ඔවුන් ගෙනාවෝ ය.</verse>
				<verse number="13">එවිට රිම්මොන් පර්වතයේ බෙන්ජමින්වරුන් සමඟ කතා කොට ඔවුන්ට සාමදානය ප්‍රකාශ කරන පිණිස, ඒ සභාව මිනිසුන් යැව්වා ය.</verse>
				<verse number="14">එකල බෙන්ජමින්වරු හැරී ආවෝ ය. ඉශ්රායෙල්වරු ජාබෙෂ්-ගිලියද්හි ස්ත්‍රීන්ගෙන් ඉතුරු කළ කාන්තාවන් ඔවුන්ට දුන්නෝ ය. එහෙත්, කාන්තාවෝ සෑහෙන ගණනක් නොසිටියහ.</verse>
				<verse number="15">සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ගෝත්‍ර අතරෙහි බෙදීමක් ඇති කළ නිසා, සෙනඟ බෙන්ජමින්වරුන් ගැන ශෝක වූ හ.</verse>
				<verse number="16">එවිට ප්‍රජා මූලිකයෝ කතා කොට, “බෙන්ජමින්වරුන් අතර ස්ත්‍රීන් විනාශ කරනු ලැබූ බැවින්, ඉතිරි ව සිටින අයට භාර්යාවන් ලැබෙන පිණිස කුමක් කරමු ද?</verse>
				<verse number="17">ඉශ්රායෙල්වරුන් අතරෙන් ගෝත්‍රයක් නොමැකෙන ලෙස බෙන්ජමින් ගෝත්‍රයෙන් ගැළවී සිටින්නන්ට උරුමයක් තිබිය යුතු ය.</verse>
				<verse number="18">එහෙත්, අපේ දූවරුන්ගෙන් ඔවුන්ට භාර්යාවන් දෙන්නට බැරි ය. මන්ද, ‘බෙන්ජමින් ගෝත්‍රයේ මිනිසෙකුට භාර්යාවක දෙන තැනැත්තාට සාප වේ වා’යි කියා ඉශ්රායෙල්වරුන් දිවුරා තිබේ ය”යි කීවෝ ය.</verse>
				<verse number="19">තවද, ඔව්හු කතා කොට, “බෙතෙල්ට උතුරෙන් ද බෙතෙල් සිට ෂෙකෙම්ට යන මාවතට නැගෙනහිරෙන් ද ලෙබොනාට දකුණෙන් ද තිබෙන ෂිලෝහි දී අවුරුදු පතා සමිඳාණන් වහන්සේට මංගල්‍යයක් පවත්වන්නේ යැ”යි පවසා,</verse>
				<verse number="20">බෙන්ජමින්වරුන්ට අණ කරමින් මෙසේ කීවෝ ය; “ඔබ ගොස් මිදිවතුවල සැඟවී සිට,</verse>
				<verse number="21">ෂිලෝහි දූවරුන් නටන්නට පිටතට ආවොත්, ඔබ මිදිවතුවලින් නික්ම අවුත්, එකිනෙකා ෂිලෝහි දූවරුන්ගෙන් තම තමාට භාර්යාවක බැගින් අල්ලාගෙන බෙන්ජමින් රටට යන්න.</verse>
				<verse number="22">ඉතින් ඔවුන්ගේ පියවරුන් හෝ සහෝදරයන් හෝ අප ඉදිරියෙහි පැමිණිලි කරන්නට පැමිණි විට, අපි ඔවුන්ට කතා කොට, ‘කරුණාවෙන් ඔවුන් අපට දුන මැනව. මන්ද, අපි යුද්ධයේ දී එක එකාට භාර්යාවක ඉතිරි නොකෙළෙමු. ඔබවත් ඔවුන්ට භාර්යාවන් දුන්නේ නැත. ඔබ දුන්නහු නම් වරදකරුවෝ වන්නහු ය’යි කියන්නෙමු.”</verse>
				<verse number="23">බෙන්ජමින්වරු එසේ කර, නටන්නට ආ තරුණියන්ගෙන් තමන්ගේ ගණන ලෙස තමන්ට භාර්යාවන් අල්ලාගෙන තමන්ගේ උරුම ප්‍රදේශයට හැරී ගොස්, නගර ගොඩනඟා එහි විසුවෝ ය.</verse>
				<verse number="24">එකල ඉශ්රායෙල්වරු සියලු දෙනා තමන්ගේ ගෝත්‍රය ද පවුල ද කරා ගියෝ ය. එතැනින් ඔව්හු එකිනෙකා තම තමාගේ උරුම ප්‍රදේශයට ගියෝ ය.</verse>
				<verse number="25">ඒ දවස්වල දී ඉශ්රායෙල්හි රජ කෙනෙක් නොසිටියේ ය. එකිනෙකා තම තමා රිසි දේ කෙළේ ය.</verse>
			</chapter>
		</book>
		<book number="8">
			<chapter number="1">
				<verse number="1">වීර පුරුෂයන් ඉශ්රායෙල් රට පාලනය කරන සමයේ දී ඒ රටේ සාගතයක් ඇති විය. එහෙයින්, ජුදා දේශයේ බෙත්ලෙහෙමේ එක්තරා මිනිසෙක් මෝවබ් දේශයෙහි ටික කලක් පදිංචි වීමට තම බිරිඳ ද පුතුන් දෙදෙනා ද කැටුව එහි ගියේ ය.</verse>
				<verse number="2">ඔහුගේ නම එලිමෙලෙක් ය; ඔහුගේ බිරිඳ නයෝමි ය; ඔහුගේ පුත්තු දෙදෙනා මාලොන් සහ කිලියොන් ය. ඔව්හු ජුදා දේශයේ බෙත්ලෙහෙමේ එප්‍රාතා වංශයට අයිති අය ය. ඔව්හු මෝවබ් දේශයට ගොස් එහි පදිංචි වූ හ.</verse>
				<verse number="3">එහි දී නයෝමිගේ ස්වාමි පුරුෂයා වූ එලිමෙලෙක් මළේ ය. නයෝමිට ඉතිරි වූයේ, පුත්තු දෙදෙනා පමණි.</verse>
				<verse number="4">ඔව්හු දෙදෙනා ඔර්පා සහ රූත් නම් මෝවබ් ජාතික තරුණියන් දෙදෙනකු සරණ පාවාගෙන එහි දස වසක් පමණ ජීවත් වූ හ.</verse>
				<verse number="5">ඉන්පසු මාලොන් ද කිලියොන් ද මළහ. එවිට පුතුන් දෙදෙනා ද ස්වාමි පුරුෂයා ද නැති වූයෙන් නයෝමි තනි වූවා ය.</verse>
				<verse number="6">ඉශ්රායෙල් දේශයේ අස්වැන්න සරු කිරීමෙන් තම සෙනඟට සමිඳාණන් වහන්සේ පිහිට වූ බව නයෝමිට ආරංචි විය. එහෙයින්, ඈ මෝවබ් දේශය අත්හැර තම ලේලීන් දෙදෙනා සමඟ එහි යෑමට සූදානම් වූවා ය.</verse>
				<verse number="7">ඈ ද ඈ සමඟ ලේලීන් දෙදෙනා ද ඔවුන් සිටි දේශය අත්හැර ජුදා දේශය බලා ආපසු ගමන්ගත්හ.</verse>
				<verse number="8">නයෝමි ලේලීන් දෙදෙනා අමතා මෙසේ කීවා ය: “ආපසු ගෙදර ගොස් ඔබ එකිනෙකාගේ මවුන් සමඟ නවතින්න. මටත්, මළගිය අයටත් ඔබ හොඳින් සැලකුවාක් මෙන්, සමිඳාණන් වහන්සේ ඔබටත් හොඳින් සලකන සේක් වා!</verse>
				<verse number="9">තවද, ඔබ දෙදෙනා නැවත පවුල් වී සුරැකි ව සිටීමට සමිඳාණන් වහන්සේ ඔබට පිහිට වන සේක් වා!” මෙසේ කියා නයෝමි ඔවුන් දෙදෙනා සිඹ ඔවුන්ගෙන් සමුගත්තා ය. එහෙත්, ලේලීන් දෙදෙනා හඬා වැලපෙමින්,</verse>
				<verse number="10">“අනේ, එසේ කළ නොහැකි ය. ඔබ සමඟ ඔබේ සෙනඟ වෙත අපි එන්නෙමු”යි කී හ.</verse>
				<verse number="11">එවිට නයෝමි උත්තර දෙමින් මෙසේ කීවා ය: “මාගේ දූවරුනි, ඔබ ආපසු යන්නට ම ඕනෑ ය. මා සමඟ එන්නේ කුමක් බලාපොරොත්තුවෙන් ද? ඔබට පුරුෂයන් වශයෙන් දීමට තවත් පුතුන් මාගේ කුසෙන් දැරීමට මට පුළුවන් ද?</verse>
				<verse number="12">මාගේ දූවරුනි, ආපසු ගෙදර යන්න. නැවතත් විවාහයක් කරගැනීමට මට දැන් වයස වැඩි යි. මා විවාහ වීමට අදහස් කළත්, එසේ නැති නම්, මා අද ම විවාහ වී පුතුන් ලැබුවත්,</verse>
				<verse number="13">ඔවුන් නියම වයසට පැමිණෙන තෙක් බලා සිටින්නට ඔබට හැකි ද? ඒ බලාපොරොත්තුවෙන් අන් කෙනෙකු හා විවාහ නොවී සිටීමට ඔබට පුළුවන් ද? මාගේ දූවරුනි, මෙය කරන්නට බැරි දෙයකි. සමිඳාණන් වහන්සේ මට විරුද්ධ වී සිටින බැවින් මාගේ දුක ඔබේ දුකට වඩා දැඩි ය.”</verse>
				<verse number="14">ඔව්හු නැවතත් හඬා වැලපෙන්නට පටන්ගත්හ. ඔර්පා තම නැන්දම්මා සිඹ සමුගෙන තමාගේ නෑදෑයින් වෙත ගියා ය. එහෙත්, රූත් තම නැන්දම්මාට ඇළුම්කමින් බැඳී සිටියා ය.</verse>
				<verse number="15">එවිට නයෝමි රූත්ට මෙලෙස කීවා ය: “බලන්න, ඔබේ නෑනා තම නෑදෑහිතවතුන් වෙත ද තම කුල දෙවියා වෙත ද ආපසු ගියා ය. ඔබත් ඈ සමඟ යන්න.”</verse>
				<verse number="16">එහෙත්, රූත් උත්තර දෙමින් මෙසේ කීවා ය: “මට ඔබ අත්හැර යන්නට වත්, ඔබ සමඟ නොඑන්නට වත් පෙරැත්ත නොකරන්න. ඔබ යන ඕනෑ ම තැනකට මමත් යමි. ඔබ ජීවත් වන ඕනෑ ම තැනක මමත් ජීවත් වෙමි. ඔබේ සෙනඟ මාගේ සෙනඟ ය. ඔබේ දෙවියෝ මාගේ දෙවියෝ ය.</verse>
				<verse number="17">ඔබ මැරෙන තැන ම මමත් මැරෙන්නෙමි, එතැන ම වළලනු ලබමි. මරණය හැර ඔබෙන් මා වෙන් කළ හැකි වෙන කිසිවක් නැත; තිබුණොත්, සමිඳාණන් වහන්සේ මට ඉතා දරුණු ලෙස දඬුවම් කරන සේක් වා!”</verse>
				<verse number="18">තමා සමඟ යෑමට රූත් අධිෂ්ඨාන කරගෙන තිබෙන බව නයෝමිට හැඟුණෙන් ඈ ඒ ගැන තවත් කතා නොකළා ය.</verse>
				<verse number="19">බෙත්ලෙහෙමට ම පැමිණෙන තෙක් ඔව්හු දෙදෙනා මෙසේ ගමන් කළහ. ඔවුන් එහි පැමිණි විට මුළු නගරය කලබල විය. එහි ස්ත්‍රීහු, “මේ නයෝමි නොවේ දැ”යි ඇසූ හ.</verse>
				<verse number="20">ඈ උත්තර දෙමින් මෙසේ කීවා ය: “මට වාසනාවන්තී යන අර්ථය ඇති නයෝමි යයි තවත් නොකියන්න; කාලකණ්ණි යන අර්ථය ඇති මාරා යයි කියන්න. මන්ද, සර්ව පරාක්‍රමයාණන් මට තදබල ලෙස දඬුවම් කර ඇත.</verse>
				<verse number="21">මා මෙයින් පිට වී යන විට සියලු දෙයින් පරිපූර්ණ වී සිටියෙමි. එහෙත්, සමිඳාණන් වහන්සේ හිස් අතින් මා ආපසු ගෙනවුත් තිබේ. සමිඳාණන් වහන්සේ මට විරුද්ධ වී සර්ව පරාක්‍රමයාණන් මට පීඩා කර තිබිය දී මට වාසනාවන්තී යැයි කියන්නේ මන් ද?”</verse>
				<verse number="22">මෙසේ නයෝමි තම ලේලි වන මෝවබ් ජාතික රූත් සමඟ මෝවබ් දේශයෙන් ආපසු පැමිණියා ය. ඔවුන් බෙත්ලෙහෙමට පැමිණියේ, බාර්ලි අස්වැන්න රැස් කරන්නට පටන්ගත් කාලයේ දී ය.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">නයෝමිට බෝවස් නමින් ධනවත් නෑයෙක් සිටියේ ය. ඔහු ඇගේ පුරුෂයා ව සිටි එලිමෙලෙක්ගේ පෙළපතට අයත් කෙනෙකි.</verse>
				<verse number="2">මෝවබ් ජාතික රූත් නයෝමිට කතා කොට, “අස්වැන්න එකතු කරන අයගෙන් මඟ හැරෙන කරල් එකතු කරගැනීමට ඉඩ දෙන මිනිසෙකු පසුපස යන්නට මට අවසර දෙන්නැ”යි කීවා ය. නයෝමි උත්තර දෙමින්, “හොඳයි, යන්න දුව” කියා ඇයට අවසර දුන්නා ය.</verse>
				<verse number="3">මෙසේ රූත් කෙතට ගොස් එහි වැඩකරන්නන් පසුපස යමින් කරල් අහුලාගත්තා ය. වාසනාවකට මෙන් ඈ පැමිණියේ, එලිමෙලෙක්ගේ පෙළපතේ කෙනෙකු වූ බෝවස්ට අයිති කෙතට ය.</verse>
				<verse number="4">කෙත අයිතිකාර බෝවස් ම බෙත්ලෙහෙමේ සිට එහි පැමිණියේ ය. “සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වේ වා!”යි කියමින් ඔහු ගොයම් කපන්නන්ට ආචාර කෙළේ ය. ඔව්හු ද, “ඔබටත් දෙවි සමිඳාණන් වහන්සේ ආශීර්වාද කරන සේක් වා!”යි පිළිතුරු දුන්හ.</verse>
				<verse number="5">බෝවස් ගොයම් කපන්නන් භාර ව සිටි තම සේවකයා අමතා, “අර තරුණිය කාගේ කවුදැ”යි ඇසී ය.</verse>
				<verse number="6">සේවකයා උත්තර දෙමින් මෙසේ කී ය: “ඒ මෝවබ් දේශයෙන් නයෝමි සමඟ ආ මෝවබ් ජාතික තරුණිය ය.</verse>
				<verse number="7">‘ගොයම් කපන්නන් පස්සේ ගොසින් කරල් අහුලාගන්න දැ’යි ඈ මාගෙන් ඇසුවා ය. ඈ අලුයම සිට මේ වන තෙක් විවේක නොගෙන කරල් අහුලමින් සිටින්නී ය.”</verse>
				<verse number="8">එවිට බෝවස් රූත්ට මෙසේ කී ය: “මාගේ දියණිය, මට ඇහුම්කන් දෙන්න, මේ කෙතෙහි හැර වෙන කිසි තැනක කරල් අහුලන්නට නොයන්න. මෙහි නැවතී මාගේ සේවිකාවන් සමඟ වැඩ කරන්න.</verse>
				<verse number="9">ඔවුන් අස්වැන්න එකතු කරගන්නේ කොහේ දැ යි බලාගෙන ඔවුන් පස්සෙන් යන්න. ඔබට කිසි හිරිහැරයක් නොකිරීමට මම මාගේ සේවකයන්ට අණ කෙළෙමි. ඔබට පිපාසය ඇති වූවොත්, ගොස් ඔවුන් පුරවා තබා තිබෙන වතුර භාජනවලින් බොන්න.”</verse>
				<verse number="10">රූත් බෝවස්ගේ පාමුල මුණින්තළා වැඳ වැටී, “විදේශික ගැහැණියක වන මා දෙස ඇස් හෙළා ඔබ මට මෙපමණ කරුණාවන්ත වන්නේ මන්දැ”යි ඇසුවා ය.</verse>
				<verse number="11">බෝවස් මෙසේ පිළිතුරු දුන්නේ ය: “ඔබේ ස්වාමි පුරුෂයාගේ මරණින් පසු ඔබේ නැන්දම්මාට ඔබ සලකා තිබෙන අන්දම ගැන සියලු කාරණා මම දැනගතිමි. ඔබේ දෙමාපියන් ද මවුබිම ද හැර දමා නන්නාඳුනන සෙනඟක් මැදට ඔබ පැමිණි ආකාරය ගැන සියලු කාරණා මම දනිමි.</verse>
				<verse number="12">ඔබ කළ යහපතට සමිඳාණන් වහන්සේ ඔබට සෙත සලසන සේක් වා; ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ රැකවරණය සොයා පැමිණි ඔබට උන් වහන්සේ ආශීර්වාද කරන සේක් වා!”</verse>
				<verse number="13">එවිට රූත් උත්තර දෙමින්, “ස්වාමීනි, ඔබ මට බොහෝ කරුණාවන්ත ය. ඔබේ සේවිකාවන්ගෙන් එක් අයකුට වත් සමානකමක් නැති සේවිකාවක වන මට කරුණාවන්ත ලෙස කතා කිරීමෙන් ඔබ මා ධෛර්යවත් කර ඇතැ”යි කීවා ය.</verse>
				<verse number="14">කෑම කන වේලාවේ දී බෝවස් රූත් අමතා, “මෙහි අවුත් රොටි කැබැල්ලක් ඇඹුල් මිදියුසේ පොඟවා කන්නැ”යි කී ය. රූත් ද ගොයම් කපන අය සමඟ එකට වාඩිවුණා ය. බෝවස් විළඳ ස්වල්පයක් ඇයට ළං කළේ ය. ඈ සෑහෙන පමණ කෑ පසු එහි තවත් ඉතිරි විය.</verse>
				<verse number="15">ඈ නැවතත් කරල් අහුලාගන්නට යෑමට නැඟිටි විට, බෝවස් තම සේවකයන් හට මෙසේ අණ කෙළේ ය: “ගොයම් මිටි බැඳ තිබෙන තැන්වල වුවත් කරල් අහුලාගන්නට ඇයට ඉඩ හරින්න. ඇයට අවහිර නොකරන්න.</verse>
				<verse number="16">ගොයම් මිටිවලින් ද කරල් ටිකක් ඇද දමා ඇයට අහුලාගන්නට ඉඩ දෙන්න. ඈට දොස් නොකියන්න.”</verse>
				<verse number="17">මෙසේ හවස් වනතුරු රූත් කෙතෙහි කරල් ඇහුලුවා ය. ඈ අහුලාගත් කරල්වලින් ධාන්‍ය සූරා ගත්විට එය කිලෝග්‍රෑම් දහයක් පමණ විය.</verse>
				<verse number="18">ඈ එය රැගෙන නගරයට ගිය විට තමා කොපමණ ධාන්‍ය ප්‍රමාණයක් එකතු කරගත්තා දැ යි ඇගේ නැන්දම්මා දුටුවා ය. රූත් ඉතුරු කර ගෙනා ආහාර කොටස ද ඇයට දුන්නා ය.</verse>
				<verse number="19">නයෝමි ඇයට කතා කරමින්, “ඔබ අද කරල් ඇහුලුවේ කොහේ ද? ඔබ වැඩ කෙළේ කාගේ කෙතක ද? ඔබ ගැන සැලකූ මිනිසාට ආශීර්වාද වේ වා!”යි කීවා ය. එවිට රූත් කාගේ කෙතක තමා එදා වැඩ කළා දැ යි දන්වමින්, “මා අද වැඩ කෙළේ, බෝවස් නම් මිනිසෙකුගේ කෙතක යැ”යි කීවා ය.</verse>
				<verse number="20">එවිට නයෝමි ලේලිට කතා කරමින්, “ජීවමාන අයටත්, දැනට මිය ගොස් සිටින අයටත් වූ පොරොන්දු ඉටු කරන සමිඳාණන් වහන්සේ ඔහුට ආශීර්වාද කරන සේක් වා! ඒ මිනිසා අපේ නෑයෙකි. අපේ ඇවැස්ස නෑයෙකි”යි කීවා ය.</verse>
				<verse number="21">එවිට රූත් කතා කරමින්, “එපමණක් නොව, ‘ගොයම් කපා හමාර වනතෙක් සේවකයන් සමඟ වැඩ කරන්නැ’යි ඔහු මට කීවේ යැ”යි නැන්දම්මාට කීවා ය.</verse>
				<verse number="22">නයෝමි රූත් අමතා, “ඔව් දුව, වෙන මිනිසෙකුගේ කෙතකට ඔබ ගියොත් ඔබට හිරිහැර ලබන්නට සිදු වේ. ඒ නිසා ඔහුගේ සේවකයන් සමඟ ම ඔබ වැඩ කරනවා නම් වඩා හොඳ ය”යි කීවා ය.</verse>
				<verse number="23">මෙසේ රූත් බෝවස්ගේ සේවකයන් සමඟ වැඩ කරමින් සියලු බාර්ලි සහ තිරිඟු අස්වැන්න රැස් කර හමාර වන තෙක් කරල් ඇහුලුවා ය. ඇය තම නැන්දම්මා සමඟ දිගට ම ජීවත් වූවා ය.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">එවිට රූත්ගේ නැන්දම්මා වන නයෝමි ඈ අමතා මෙසේ පැවසුවා ය: “මාගේ දුව, ඔබේ ශුභසිද්ධිය සඳහා ඔබට කටයුත්තක් කර දීම මාගේ යුතුකම නොවේ ද?</verse>
				<verse number="2">ඔබ සමඟ සිටි සේවිකාවන්ගේ ස්වාමියා වන බෝවස් අපේ කිට්ටු නෑයෙක් නොවේ ද? අද රෑ ඔහු කමතේ දී බාර්ලි ගොයම් පොළන්නේ ය.</verse>
				<verse number="3">ඒ නිසා දැන් ඇඟපත සෝදාගෙන, සුවඳ විලවුන් ටිකක් ගල්වාගෙන, හොඳ ම ඇඳුම්වලින් සැරසී ඔහු සිටින කමතට යන්න. ඔහු කා බී ඉවර වන තෙක් ඔබ එහි සිටින බව ඔහුට දැනගන්නට ඉඩ නාරින්න.</verse>
				<verse number="4">ඔහු නිදියන්නට සැරසෙන විට නිදියන තැන මැනවින් බලාගෙන, ඇතුළට ගොස් ඔහුගේ පා වසා තිබෙන පොරෝනාව ඉවත් කොට, එහි නිදාගන්න. එසේ කළ පසු කුමක් කළ යුතු දැ යි ඔහු ඔබට කියා දෙනු ඇත.”</verse>
				<verse number="5">“ඔබ කී සියල්ලක් ම කරන්නෙමි”යි රූත් නයෝමිට පිළිතුරු දුන්නා ය.</verse>
				<verse number="6">මෙසේ රූත් කමතට ගොස් සිය නැන්දම්මා තමාට කී ලෙස සියල්ල කළා ය.</verse>
				<verse number="7">බෝවස් කා බී ඉවර වී සතුටු සොම්නසින් සිටියේ ය. ඔහු ගොස් බාර්ලි ගොඩගසා තිබුණ තැන අසලින් නිදාගැනීමට වැතිරුණේ ය. රූත් හෙමිහිට ගොස් ඔහුගේ පා වසා තිබුණ පොරෝනාව ඉවත් කොට නිදාගත්තා ය.</verse>
				<verse number="8">ඔහු මධ්‍යම රාත්‍රියේ හදිසියේ අවදි වී හැරී බැලූවිට තම පාද ළඟ ස්ත්‍රියක නිදාගෙන සිටිනු දැක,</verse>
				<verse number="9">“ඔබ කවුදැ”යි ඇසී ය. රූත් පිළිතුරු දෙමින්, “මම ඔබේ සේවිකාව වන රූත් ය. ඔබ අපේ ඇවැස්ස නෑයෙකු නිසා ඔබ මා බිරිඳ කොට පාවාගත මැනවැ”යි කීවා ය.</verse>
				<verse number="10">“මාගේ දියණියෙණි, සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක් වා!”යි ඔහු උත්තර දී තවදුරටත් මෙසේ කී ය: “ඔබ පවුලට ඇති පක්ෂපාතකම, ඔබේ නැන්දම්මාට කළ දේවලින් පෙනුණාටත් වඩා දැන් ඔබ කරන මේ ක්‍රියාවෙන් පෙනේ. මන්ද, ඔබ පොහොසත් හෝ දුප්පත් හෝ තරුණයෙකු පස්සේ ගියේ නැත.</verse>
				<verse number="11">දැන් ඔබ කිසිවකට බිය වන්න උවමනා නැත. ඔබ සිල්වත් ස්ත්‍රියක බව නගරයේ හැම දෙනෙක් ම දනිති. ඔබ ඉල්ලන කුමන දෙයක් වුවත් කරන්න මම සූදානම් ය.</verse>
				<verse number="12">මා ඔබේ ඇවැස්ස නෑයෙකු බව ඇත්තයි. එහෙත්, මට වඩා කිට්ටු තවත් ඇවැස්ස නෑයෙක් ඔබට ඇත.</verse>
				<verse number="13">පහන් වන තුරු මෙහි සිටින්න. උදේ ඒ මිනිසා ඔබ රැකබලාගැනීමේ වගකීම භාරගන්නට සතුටු වුවහොත් මැනවි. ඊට ඔහු අකමැති වුවහොත්, මා එම වගකීම භාර ගන්න බවට ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි.”</verse>
				<verse number="14">මෙසේ ඈ අලුයම වන තෙක් ඔහුගේ පය අද්දර සැතපී සිට එකිනෙකා හැඳින ගැනීමට හැකි වන්නට පෙර අවදි වූවා ය. මන්ද, ‘ඈ කමතට ආ බව කිසිවෙකු දැන නොගත යුතු ය’යි බෝවස් කී බැවිනි.</verse>
				<verse number="15">එවිට බෝවස් කතා කොට, “ඔබ ඇඳගෙන තිබෙන උතුරු සළුව මෙහි ගෙනවුත් දිග හරින්නැ”යි කී ය. ඈ එසේ කළ විට ඔහු බාර්ලි කිලෝග්‍රෑම් විස්සක් එහි බහා එය ඔසවා ගැනීමට ඈට උපකාර කෙළේ ය. ඈ පෙරළා නගරයට පැමිණියා ය.</verse>
				<verse number="16">සිය නැන්දම්මා සිටි තැනට පැමිණි විට, “දුව, තොරතුරු කෙසේ දැ”යි නැන්දම්මා විචාළා ය. බෝවස් තමාට සැලකූ අන්දම ගැන සියලු තොරතුරු ඈ සැළ කළා ය.</verse>
				<verse number="17">ඔබ වෙත හිස් අතින් මා නොපැමිණිය යුතු යයි ඔහු මේ බාර්ලි කිලෝග්‍රෑම් විස්ස මට දුන්නේ යැ යි කීවා ය.</verse>
				<verse number="18">එවිට නයෝමි “මාගේ දුව, ඊළඟට සිදු වන දේ දැනගන්න තෙක් ඉවසා සිටින්න. මන්ද, කාරණාව අද ම තීන්දු කරගන්න තෙක් බෝවස්ට ඉස්පහසුවක් නැතිවිය හැකි යැ”යි කීවා ය.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">බෝවස් නුවර දොරටුව ළඟට ගොස් එහි හිඳගත්තේ ය. නොබෝ වේලාවකින්, ඔහු කලින් සඳහන් කළ එලිමෙලෙක්ගේ කිට්ටු නෑයා එතැනට පැමිණියේ ය. බෝවස් ඔහුගේ නම කියා අමතමින්, “මිත්‍රය, මෙහි අවුත් වාඩිවන්නැ”යි ඔහුට කී ය. ඔහු එහි ගොස් වාඩි විය.</verse>
				<verse number="2">එවිට බෝවස් ප්‍රජා මූලිකයන් දසදෙනෙකු කැඳවාගෙන, “මෙහි වාඩි ගන්නැ”යි ඔවුන්ටත් කී ය.</verse>
				<verse number="3">ඉක්බිති ඔහු කිට්ටු ම නෑයාට කතා කොට මෙසේ කී ය: “දැන් නයෝමි මෝවබ් දේශයෙන් ආපසු පැමිණ සිටින බැවින් අපේ නෑයා වූ එලිමෙලෙක්ට අයිති ව තිබුණ කුඹුර විකිණීමට අදහස් කර ඇත.</verse>
				<verse number="4">ඒ බව ඔබට දන්වන්නටත්, මෙසේ කියන්නටත් මම සිතුවෙමි. ඔබට එය උවමනා නම්, මෙහි සිටින තැනැත්තන් හා අපේ සෙනඟගේ මෙම ප්‍රජා මූලිකයන් ඉදිරියේ ඔබ එය මුදාගන්න. එය ඔබට උවමනා නැත්නම්, මට ඒ බව කියන්න. මන්ද, එය මුදාගැනීමේ අයිතිවාසිකම තිබෙන්නේ පළමු ව ඔබට ය; ඊට පසු ව මට ය. මම එය මුදාගනිමි.”</verse>
				<verse number="5">බෝවස් තවදුරටත් කතා කරමින්, “නයෝමිගෙන් එය මිලයට ගන්න දවසේ දී, මෝවබ් ජාතික වැන්දඹුව වන රූත් ද ඔබ පෙළවහ කොට ගත යුතු ය. එසේ කළ යුත්තේ ඇගේ මියගිය පුරුෂයාගේ කුඹුර එම පවුලට ම උරුම වන පිණිස ය”යි ද කී ය.</verse>
				<verse number="6">එයට ඇවැස්ස නෑයා උත්තර දෙමින්, “කාරණය එසේ නම්, මම කුඹුර මිලයට ගැනීමට මාගේ අයිතිවාසිකම යොදවන්නේ නැත. එසේ කළොත් මාගේ උරුමයන් නැති වන්නට ඉඩ තිබේ. කුඹුර මිලේ‍ට ගැනීමට මට ඇති අයිතිවාසිකම ඔබට ම භාර කරමි. මට එය උවමනා නැතැ”යි කී ය.</verse>
				<verse number="7">යම්කිසි විටක ඉඩකඩම් මුදාගැනීමේ දී හෝ හුවමාරු කිරීමේ දී හෝ ඉශ්රායෙල් රටේ මිනිසුන් අතරේ පැවති ස්ථීර කිරීමේ සිරිත මෙසේ ය: විකුණන්නා පාවහන ගලවා මිලයට ගන්නාට දෙයි. ඉශ්රායෙල්හි පැවති ගනුදෙනුව සහතික කිරීමේ පිළිවෙළ මෙය විය.</verse>
				<verse number="8">එහෙයින් ඒ ඇවැස්ස නෑයා, “ඔබ ම මිලයට ගන්නැ”යි බෝවස්ට කියා, තම පාවහන ගලවා බෝවස්ට දුන්නේ ය.</verse>
				<verse number="9">එවිට එතැන සිටි ප්‍රජා මූලිකයන්ට සහ අනිකුත් අයට බෝවස් මෙසේ කී ය: “එලිමෙලෙක්ටත්, කිලියොන් සහ මාලොන්ටත් අයිති ව තිබුණු සියල්ල නයෝමිගෙන් අද මා මිලයට ගත් බවට ඔබ හැම සාක්ෂිකාරයෝ ය.</verse>
				<verse number="10">තවද, මළ මිනිසාගේ පවුලට කුඹුර උරුම වන පිණිස මාලොන්ගේ වැන්දඹුව වන මෝවබ් ජාතික රූත් මාගේ භාර්යාව වශයෙන් ද ගන්නෙමි. මෙසේ කිරීමෙන් ඔහුගේ නාමය ඔහුගේ සෙනඟ අතරේ ද ඔහු උපන් නගරයේ ද අමතක නොවී පවතිනු ඇත. මේ බවට ඔබ හැම අද දින සාක්ෂිකාරයෝ වන්නහු ය.”</verse>
				<verse number="11">“ඔව්, අපි සාක්ෂිකාරයෝ ය”යි එතැන සිටි සෙනඟ කී හ. ප්‍රජා මූලිකයෝ මෙසේ කී හ: “ඔබේ ගෙදරට පැමිණෙන මේ ස්ත්‍රිය, ඉශ්රායෙල් වංශය ගොඩනැඟුව රාකෙල් සහ ලෙයා මෙන් වේ වා! ඔබ එප්‍රාතාහි බලවත් වේ වා! බෙත්ලෙහෙම්හි කීර්තිමත් වේ වා!</verse>
				<verse number="12">සමිඳාණන් වහන්සේ මේ කාන්තාවගෙන් ඔබට දෙන දරුවන් කරණකොටගෙන ඔබේ පවුල ජුදාගේ ද තාමාර්ගේ ද පුත් පෙරෙශ්ගේ වංශය මෙන් වේ වා!”</verse>
				<verse number="13">මෙසේ බෝවස් සිය භාර්යාව ලෙස රූත් පෙළවහට ගත්තේ ය. ඔහු ඈ සමඟ එක් වූ විට සමිඳාණන් වහන්සේ ඇය පිළිසිඳ ගැනීමට සැලැසූ සේක. ඈ පුතෙකු ලැබුවා ය.</verse>
				<verse number="14">ස්ත්‍රීහු නයෝමිට කතා කොට, “සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! ඔබ රැකබලාගැනීමට උන් වහන්සේ ඔබට පුතෙකු දී තිබේ. ඒ දරුවා ඉශ්රායෙල්හි ප්‍රසිද්ධ වේ වා!</verse>
				<verse number="15">ඔහු ඔබට නව ජීවනයක් ලබා දී ඔබේ මහලු කාලයේ දී ඔබට ආරක්ෂාව සලසනු ඇත. මන්ද, ඔබට ආදරය කරන, පුතුන් හත්දෙනකුට වඩා ඔබට වැඩදායක වන ඔබේ ලේලී ඒ දරුවා ලබා ඇතැ”යි කීවෝ ය.</verse>
				<verse number="16">නයෝමි ඒ දරුවා වඩාගෙන ළයෙහි හොවා රැකබලාගත්තා ය.</verse>
				<verse number="17">අසල්වැසි ස්ත්‍රීහු, “නයෝමිට පුතෙක් උපන්නේ යැ”යි කියමින්, ඔහුට ඕබෙද් යන නම තැබූ හ. ඔහු දාවිත්ගේ පියා වූ ජෙස්සේගේ පියා විය.</verse>
				<verse number="18">පෙරෙශ්ගේ පෙළපත මේ ය: පෙරෙශ් හෙශ්රොන්ගේ පියා ය.</verse>
				<verse number="19">හෙශ්රොන් රාම්ගේ ද රාම් අම්මිනාදාබ්ගේ ද</verse>
				<verse number="20">අම්මිනාදාබ් නාෂොන්ගේ ද නාෂොන් සල්මොන්ගේ ද</verse>
				<verse number="21">සල්මොන් බෝවස්ගේ ද බෝවස් ඕබෙද්ගේ ද</verse>
				<verse number="22">ඕබෙද් ජෙස්සේගේ ද ජෙස්සේ දාවිත්ගේ ද පියා විය.</verse>
			</chapter>
		</book>
		<book number="9">
			<chapter number="1">
				<verse number="1">එප්‍රායිම් කඳු රටේ රාමාතයිම්-ශෝපීම්හි එල්කානා නම් මිනිසෙක් විය. ඔහු ජෙරොහාම්ගේ පුත්‍රයා ය; එප්‍රායිමියයෙකු වූ ශුප්ගේ ගෝත්‍රයේ තොහුගේ පවුලට අයත් එලීහුගේ මුණුබුරා ය.</verse>
				<verse number="2">එල්කානාට භාර්යාවෝ දෙදෙනෙක් සිටියහ. එක් තැනැත්තියකගේ නම හන්නා ය; අනික් තැනැත්තියගේ නම පෙනින්නා ය. පෙනින්නාට දරුවෝ සිටියහ; එහෙත්, හන්නාට දරුවෝ නොසිටියහ.</verse>
				<verse number="3">එල්කානා ෂිලෝහි දී සියලු බලැති සමිඳාණන් වහන්සේට නමස්කාර කරන්නත්, පූජා කරන්නත් අවුරුදු පතා ඔහුගේ නගරයෙන් නික්ම ගියේ ය. එහි සමිඳාණන් වහන්සේගේ පූජකයන් වූ හොප්නි සහ පිනෙහාස් යන ඒලීගේ පුත්‍රයෝ දෙදෙනා සිටියහ.</verse>
				<verse number="4">එල්කානා පූජා කරන හැම අවස්ථාවේ දී ම සිය බිරිඳ වූ පෙනින්නාටත්, ඇගේ සියලු දූ දරුවන්ටත් කොටසක් දුන්නේ ය.</verse>
				<verse number="5">එහෙත්, ඔහු හන්නාට දෙකොටසක් දුන්නේ ය. එසේ කෙළේ, ඔහු හන්නාට බොහෝ ප්‍රේම කළ බැවිනි. එහෙත්, සමිඳාණන් වහන්සේ ඇගේ ගර්භය පියවා තිබිණි.</verse>
				<verse number="6">සමිඳාණන් වහන්සේ ඇගේ ගර්භය පියවා තිබුණු බැවින්, ඇගේ විරුද්ධකාරී ඈ කෝප කරවන පිණිස ඈට නින්දා කළා ය.</verse>
				<verse number="7">එල්කානා අවුරුදු පතා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගිය අවස්ථාවල දී පෙනින්නා හන්නා කෝප කළා ය. ඒ නිසා හන්නා කෑම නොකා හඬමින් සිටියා ය.</verse>
				<verse number="8">එවිට ඇගේ පුරුෂයා වන එල්කානා ඈට කතා කොට, “හන්නා, ඔබ අඬන්නේ මන් ද? නොකා සිටින්නේ මන් ද? ඔබ සෝදුකින් සිටින්නේ මන් ද? පුත්‍රයන් දසදෙනෙකුට වඩා මා ඔබට අගේ නැද්දැ”යි කී ය.</verse>
				<verse number="9">වරක් ෂිලෝහි දී ඔවුන් කා බී හමාර වූ පසු හන්නා නැඟිට සිටියා ය. ඒලී නම් පූජකයා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ උළුවහු කණුව ළඟ තිබුණු සිය ආසනේ හිඳගෙන සිටියේ ය.</verse>
				<verse number="10">හන්නාගේ සිත ශෝකයෙන් පිරී තිබිණි. ඈ සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින් අඬ අඬා සිටියා ය.</verse>
				<verse number="11">ඈ බාරයක් වෙමින්, “සියලු බලැති සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකාරී වන මාගේ දුක දෙස හොඳින් බලා, මා සිහි කර, මා අමතක නොකර, මට පිරිමි දරුවෙකු දෙන සේක් නම්, මම ඔහුගේ මුළු ජීවිත කාලය ම ඔබට කැප කරන්නෙමි; ඔහුගේ හිසට කවදාවත් දැළි පිහියක් නොතබන්නෙමි”යි කීවා ය.</verse>
				<verse number="12">හන්නා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි බොහෝ වේලා යාච්ඤා කරන අතර ඒලී ඇගේ මුඛය දෙස බලා සිටියේ ය.</verse>
				<verse number="13">හන්නා නිශ්ශබ්ද ව යාච්ඤා කළා ය. ඇගේ තොල් පමණක් සෙලවුණ නමුත්, ඇගේ කටහඬ ඇසුණේ නැත. ඒ නිසා ඈ බීමත් වී සිටිති යි ඒලී සිතුවේ ය.</verse>
				<verse number="14">ඒලී කතා කොට, “ඔබ කොපමණ කල් වෙරි වී සිටින්නෙහි ද? වෙරි මත ඔබෙන් පහ වන තුරු ඉවතට යන්නැ”යි කී ය.</verse>
				<verse number="15">හන්නා උත්තර දෙමින්, “මාගේ ස්වාමීනි, එසේ නොවේ; මුද්‍රික පානය වත් සැර බීමක් වත් මම නොබීවෙමි. මම ශෝක සිතක් ඇති ස්ත්‍රියක්මි. සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින් මාගේ දුක් ගැනවිලි උන් වහන්සේ ඉදිරියෙහි වැගිර වූයෙමි.</verse>
				<verse number="16">ඔබේ මෙහෙකාරී කමකට නැති ස්ත්‍රියකැ යි නොසිතන්න. මා මේ ආකාරයෙන් යාච්ඤා කරමින් සිටියේ මාගේ දුකේ හා සිත් වේදනාවේ වැඩිකම නිසා ය”යි කීවා ය.</verse>
				<verse number="17">එවිට ඒලී පිළිතුරු දෙමින්, “ශාන්ති සිතින් යන්න; ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගෙන් ඔබ කළ ඉල්ලීම උන් වහන්සේ ඔබට ඉෂ්ට කර දෙන සේක්වා”යි කීවේ ය.</verse>
				<verse number="18">ඈ ද, “ඔබේ දාසීට ඔබ ඉදිරියෙහි කරුණාව ලැබේ වා”යි කියා එතැනින් පිටත් ව ගොස් කෑම කෑවා ය. ඉන්පසු ඇගේ මුහුණ ද මළානික ව නොතිබිණි.</verse>
				<verse number="19">පසු දින අලුයම එල්කානා සහ ඔහුගේ පවුල නැඟිට, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නමස්කාර කොට, හැරී ගොස් රාමාහි තමන්ගේ ගෙදරට ගියෝ ය. එල්කානා සිය බිරිඳ වන හන්නා සමඟ එක් විය. සමිඳාණන් වහන්සේ ද ඇය සිහි කළ සේක.</verse>
				<verse number="20">ඈ පිළිසිඳගෙන නියම කාලයේ දී පුත්‍රයෙකු ලැබුවා ය. ඈ ඔහුට සාමුවෙල් යන නාමය තැබුවා ය. “එසේ කෙළේ, මා සමිඳාණන් වහන්සේගෙන් ඔහු ඉල්ලාගත් බැවිනැ”යි ඈ කීවා ය.</verse>
				<verse number="21">එල්කානා සහ ඔහුගේ මුළු පවුල අවුරුදුපතා කරන පූජාවත්, තමාගේ බාරයත් සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිස ෂිලෝවට නික්ම ගියහ.</verse>
				<verse number="22">එහෙත්, හන්නා ගියේ නැත. මන්ද, “ළමයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හැම කල්හි ම නැවතී සිටින පිණිස කිරි වැරූ පසු ඔහු ගෙන යන තුරු මම නොයමි”යි ඈ ඇගේ පුරුෂයාට කීවා ය.</verse>
				<verse number="23">ඇගේ පුරුෂයා වන එල්කානා ඈට පිළිතුරු දෙමින්, “ඔබට හොඳ යයි සිතෙන දේ කරන්න; දරුවා කිරි වරන තුරු නැවතී සිටින්න. සමිඳාණන් වහන්සේ තමන්ගේ පොරොන්දුව ඉෂ්ට කරන සේක් වා”යි කීවේ ය. මෙසේ හන්නා නැවතී සිට සිය පුතා කිරි වරන තුරු ඔහුට කිරි දුන්නා ය.</verse>
				<verse number="24">දරුවා කිරි වැරූ පසු, හන්නා තුන් අවුරුදු වස්සෙකු ද පිටි කිලෝග්‍රෑම් දහයක් ද මිදියුස බඳුනක් ද අරගෙන දරුවා ගෙන ගොස් ෂිලෝහි තිබුණු සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පැමුණුණා ය. එකල ඔහු කුඩා දරුවෙකු ව සිටියේ ය.</verse>
				<verse number="25">ඔව්හු ගොන් වස්සා මරා දරුවා ඒලී ළඟට ගෙනාහ.</verse>
				<verse number="26">ඈ ඒලී අමතා, “අනේ ස්වාමීනි, මට සමා වන්න. වරක් ඔබ ළඟ සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින් සිටි ස්ත්‍රිය මා බව මම දිවුරා කියමි.</verse>
				<verse number="27">මේ දරුවා දෙන ලෙස මම යාච්ඤා කෙළෙමි. සමිඳාණන් වහන්සේ ද මා උන් වහන්සේගෙන් ඉල්ලූ මේ ඉල්ලීම මට ඉටු කළ සේක.</verse>
				<verse number="28">එබැවින් මම ද ඔහු සමිඳාණන් වහන්සේට දෙන්නෙමි. ඔහු ජීවත් ව සිටින තෙක් සමිඳාණන් වහන්සේට කැප ය”යි කීවා ය. ඔව්හු එහි දී සමිඳාණන් වහන්සේට නමස්කාර කළහ.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">හන්නා යාච්ඤා කරමින් මෙසේ කීවා ය: “මා සිත සමිඳුන් කෙරෙහි ප්‍රීතිමත් වේ; මාගේ සවිය සමිඳුන් කෙරෙහි උසස් වී තිබේ. මාගේ මුවින් මා සතුරන්ට මම සරදම් කරමි; ඔබ මා ගැළෙවු නිසා මම ප්‍රීති වෙමි.</verse>
				<verse number="2">සමිඳුන් මෙන් සුවිශුද්ධ අන් කෙනෙක් නැත; ඔබ හැර අන් දෙවි කෙනෙක් ඇත්තේ ම නැත; අපේ දෙවිඳුන්ට සම වන සරණක් නැත.</verse>
				<verse number="3">උඩඟු ලෙස පුරසාරම් නොදොඩන්න; අහංකාර දෙඩුම් ඔබේ මුඛවලින් නොනික්මේ වා! මන්ද, සමිඳු සියල්ල දන්නා වූ දෙවි කෙනෙකි; මිනිසුන්ගේ සියලු ක්‍රියා විනිශ්චය කරන කෙනෙකි.</verse>
				<verse number="4">බලවතුන්ගේ බලය දුබල වී ඇත. දුබලයෝ බලවත් වී ඇත.</verse>
				<verse number="5">කා බී තර වී සිටි අය කුලී වැඩ කරති; සාගින්නෙන් පෙළී සිටි අයට සාගින්නක් තවත් නැත. වඳ ස්ත්‍රියට දරුවන් සත්දෙනෙක් ඇත. බොහෝ දරුවන් ලැබූ ස්ත්‍රියට දැන් එකෙක් වත් නැත.</verse>
				<verse number="6">මරණය සමිඳුන්ගෙන් ය, ජීවිතය ද සමිඳුන්ගෙන් ය; පාතාලයට ගෙන යන්නේත්, එයින් ගෙන එන්නේත් සමිඳාණෝ ය.</verse>
				<verse number="7">සමිඳාණෝ දිළිඳුකම ද පොහොසත්කම ද ඇති කරන සේක; පහත්කම ද උසස්කම ද ගෙන දෙන සේක.</verse>
				<verse number="8">අධිපතීන් සමඟ හිඳුවන පිණිසත්, මහිමාසන උරුම කර දෙන පිණිසත්, එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක; දිළින්දා කසළ ගොඩින් ඔසවන සේක. පොළොවේ පදනම් සමිඳාණන්ගේ ය; එතුමාණෝ ඒවා පිට ලොව පිහිටෙවු සේක.</verse>
				<verse number="9">එතුමාණෝ තම සුදනන්ගේ දිවි රක්නා සේක; එහෙත්, දුදනෝ අඳුරෙහි වැනසෙන්නෝ ය. සිය සවියෙන් පමණක් කිසිවෙක් ජය නොගන්නේ ය.</verse>
				<verse number="10">සමිඳුන්ගේ සතුරෝ සුණු විසුණු කරනු ලබති; අතිඋසස් දෙවිඳාණෝ අහසෙන් ගිගුරුම් දෙන සේක. සමිඳාණෝ මුළු පොළෝ තලය විනිශ්චය කරන සේක; එතුමාණෝ සිය රජුට බලය දෙන සේක. තමන් තෝරාගත් රජුට ජය අත් කර දෙන සේක.”</verse>
				<verse number="11">එල්කානා රාමාහි තමාගේ ගෙදරට ගියේ ය. එහෙත්, දරුවා නතර වී ඒලී පූජකයා යටතේ සමිඳාණන් වහන්සේට සේවය කෙළේ ය.</verse>
				<verse number="12">ඒලීගේ පුත්‍රයෝ දුර්ජනයෝ වූ හ. ඔවුන් සමිඳාණන් වහන්සේ ගැන කිසිත් සැලකුවේ නැත.</verse>
				<verse number="13">ඒ පූජකයන් සෙනඟ සමඟ හැසුරුණු අන්දම මෙසේ ය: යම් කෙනෙකු පූජාවක් ඔප්පු කරන කල, මස් උයන අතර, පූජකයාගේ වැඩකාරයා දැති තුනක් ඇති මස් කොක්කක් රැගෙන අවුත්,</verse>
				<verse number="14">හට්ටියේ හෝ සැළියේ හෝ කල්දේරමේ හෝ ඇතිළියේ හෝ දමන්නේ ය; එවිට කොක්කට අසු වූ සියල්ල පූජකයා තමාට ම ගන්නේ ය. ෂිලෝ නගරයට පැමිණි සියලු ඉශ්රායෙල්වරුන්ට ඔව්හු මෙසේ කළහ.</verse>
				<verse number="15">ඒ හැර, තෙල දැවී යන්නටත් පෙර පූජකයාගේ වැඩකාරයා අවුත්, පූජා ඔප්පු කරන මිනිසාට කතා කොට, “පූජක තුමාට පුළුස්සන්නට මස් දෙන්න; මන්ද, එතුමා අමු මස් මිස පිසූ මස් ඔබෙන් නොපිළිගන්නේ ය”යි කී ය.</verse>
				<verse number="16">ඒ මිනිසා ඔහුට පිළිතුරු දෙමින්, “තෙල දැවී ගිය පසු කැමැති තරම් ගන්නැ”යි ඔහුට කීවොත්, වැඩකාරයා පිළිතුරු දෙමින්, “එසේ නොව, ඔබ දැන් ම දෙන්නට ඕනෑ ය; නැත්නම් බලහත්කාරයෙන් ගන්නෙමි”යි කියනු ඇත.</verse>
				<verse number="17">ඒලීගේ පුත්‍රයන් සමිඳාණන් වහන්සේගේ පූජාව සුළු කොට සැලකූ බැවින් ඔවුන්ගේ පාපය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඉතා බරපතල විය.</verse>
				<verse number="18">ළමා වියෙහි සිටි සාමුවෙල් හණ ඒපොද් සැට්ටයක් ඇඳගෙන, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සේවය කරමින් සිටියේ ය.</verse>
				<verse number="19">ඔහුගේ මව සිය පුරුෂයා සමඟ වාර්ෂික පූජාව ඔප්පු කරන පිණිස අවුරුද්දක් පාසා අවුරුද්දක් ෂිලෝ නගරයට යන කල සාමුවෙල්ට කුඩා ඇඳුමක් සාදාගෙන ගියා ය.</verse>
				<verse number="20">ඒ අවස්ථාවල දී ඒලී එල්කානාටත්, ඔහුගේ භාර්යාවටත් ආශීර්වාද කරමින්, “ඔබ දෙපළ සමිඳාණන් වහන්සේට දුන් දීමනාව වෙනුවට සමිඳාණන් වහන්සේ ඔබට මේ ස්ත්‍රියගෙන් දරු පරපුරක් දෙන සේක් වා”යි කීවේ ය. ඉන්පසු ඔව්හු සිය ගෙදරට ගියෝ ය.</verse>
				<verse number="21">සමිඳාණන් වහන්සේ හන්නාට කරුණා කළ සේක. ඈ පිළිසිඳගෙන පුත්‍රයන් තුන්දෙනෙකු ද දූවරුන් දෙදෙනෙකු ද ලැබුවා ය. සාමුවෙල් නම් ළමයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි වැඩිණි.</verse>
				<verse number="22">ඒලී ඉතා මහලු ව සිටියේ ය. තමාගේ පුත්‍රයන් සියලු ඉශ්රායෙල්වරුන්ට කළ සියල්ල ගැනත්, සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සේවය කළ ස්ත්‍රීන් සමඟ ඔවුන් සයනය කරන බවත් ඔහුට ආරංචි විය.</verse>
				<verse number="23">ඒලී සිය පුතුන්ට කතා කොට, “ඔබ මෙයාකාර දේවල් කරන්නේ කුමක් නිසා ද? ඔබේ නපුරු ක්‍රියා ගැන මේ හැම දෙනාගෙන් ම මට අසන්නට ලැබේ.</verse>
				<verse number="24">මාගේ පුත්‍රයෙනි, එසේ නොකරන්න. මන්ද, සමිඳාණන් වහන්සේගේ සෙනඟ අතරේ පැතිරී යන මේ දූසමාන ආරංචිය හොඳ නැත.</verse>
				<verse number="25">මිනිසෙකුට විරුද්ධ ව මිනිසෙකු පව් කළොත්, ඒ සම්බන්ධයෙන් දෙවියන් වහන්සේට මැදහත් විය හැකි ය. එහෙත්, සමිඳාණන් වහන්සේට විරුද්ධ ව මිනිසෙකු පව් කළොත්, ඔහු වෙනුවට මැදහත් විය හැක්කේ කවරෙකුට දැ”යි කීවේ ය. එහෙත්, ඔව්හු තම පියාගේ බසට සවන් නොදුන්නෝ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ඔවුන් නසන්නට තීරණය කර තිබුණු බැවිනි.</verse>
				<verse number="26">සාමුවෙල් කාය ශක්තියෙන් ද සමිඳාණන් වහන්සේගෙන් හා මනුෂ්‍යයන්ගෙන් ප්‍රසාදය ලබමින් ද වැඩුණේ ය.</verse>
				<verse number="27">දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් ඒලී වෙත අවුත්, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි කීවේ ය: “නුඹේ පියා ද ඔහුගේ වංශය ද මිසරයෙහි පාරාවෝගේ ගෙදර වහල් ව සිටිය දී මම ඔවුන්ට ප්‍රකාශ නොවීම් ද?</verse>
				<verse number="28">පූජාසනය මත පූජා ඔප්පු කරන පිණිස ද සුවඳ දුම් ඔප්පු කරන පිණිස ද මා ඉදිරියෙහි දාදු කරඬුව දරන පිණිස ද මාගේ පූජකයන් ලෙස සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් මම ඒ වංශය තෝරා නොගතිම් ද? ඉශ්රායෙල්වරුන් විසින් ඔප්පු කරන ලද සියලු දවන යාග පූජා මම නුඹේ පියාගේ වංශයට නුදුනිම් ද?</verse>
				<verse number="29">එසේ නම්, මාගේ වාසස්ථානයේ ඔප්පු කරන්නට මා අණ කර තිබෙන මාගේ යාගයටත්, මාගේ පූජාවටත් නුඹ අගෞරව කරන්නේත්, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ සියලු පූජාවල ඉතා හොඳ කොටස්වලින් නුඹේ පුත්‍රයන් තර කරගන්න පිණිස නුඹ මට වඩා නුඹේ පුත්‍රයන්ට ගෞරව කරන්නේත් මන් ද?</verse>
				<verse number="30">එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වන මම මෙසේ කියමි: නුඹේ වංශයත්, නුඹේ පියාගේ වංශයත් මා ඉදිරියෙහි සදහට ම සේවය කරනු ඇත. එහෙත්, දැන් ස්වාමීන් වන මම එය මාගෙන් දුරු වේ වා යි කියමි. මන්ද, මට ගෞරව කරන්නන්ට මම ගෞරව කරමි. මා හෙළා දකින්නන් නින්දාවට පමුණුවන්නෙමි.</verse>
				<verse number="31">නුඹේ වංශයෙන් ද නුඹේ පියාගේ වංශයෙන් ද කිසිවෙකු මහලු වියට නොපැමිණෙන ලෙස නුඹේ ද නුඹේ පියාගේ ද බලය මා බිඳදමන බව සිතට ගන්න.</verse>
				<verse number="32">ඉශ්රායෙල්වරුන්ට මා දෙන ආශීර්වාද සියල්ල කෙරෙහි නුඹ ඊර්ෂ්‍යාවෙන් බලා කැළඹෙන්නෙහි ය. නුඹේ වංශයෙන් කිසිවෙක් දීර්ඝායු වළඳන්නේ නැත.</verse>
				<verse number="33">එසේ වූවත් මට පූජකයෙකු ලෙස සේවය කරන පිණිස නුඹේ පරපුරෙන් එක් කෙනෙකු මම ඉතිරි කරගනිමි. එහෙත්, ඔහු අන්ධ වන්නේ ය; ඔහුගේ සියලු බලාපොරොත්තු නැති වී යන්නේ ය. නුඹේ වංශයෙන් පැවතෙන සියල්ලන් කඩු පහරින් මැරෙනු ඇත.</verse>
				<verse number="34">නුඹේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නි සහ පිනෙහාස් එක දවසේ මැරුණ විට, මා කියන දේ සැබෑ බවට එය ලකුණක් වන්නේ ය.</verse>
				<verse number="35">මට පක්ෂපාත ව සිටින, මා කැමැති, මා කියන හැම දේ කරන පූජකයෙකු මම තෝරාගන්නෙමි. ඔහුට දරු පරපුරක් සලසා දී මාගේ අභිෂේක ලත් රජ්ජුරුවන් ඉදිරියෙහි නිරන්තරයෙන් සේවය කිරීමට ඔහු පත් කරමි.</verse>
				<verse number="36">තවද, නුඹේ වංශයෙන් ඉතුරු වන හැම දෙනා රිදී කාසියක් ද රොටියක් ද ලබාගන්න පිණිස රජු වෙත පැමිණ ඔහු ඉදිරියේ වැඳ වැටී, අනේ රොටි කෑල්ලක් කන පිණිස පූජක තනතුරට මා පත් කළ මැනවැ’යි කියනු ඇත.”</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">ළමා වියේ සිටි සාමුවෙල් ඒලී යටතේ සමිඳාණන් වහන්සේට සේවය කෙළේ ය. ඒ කාලයේ දී සමිඳාණන් වහන්සේගෙන් පැමුණුණ පණිවුඩ දුර්ලභ විය; දර්ශන ද විරල විය.</verse>
				<verse number="2">දැන් ඒලීගේ ඇස් හරියාකාර නොපෙනෙන තරමට අඳුරුවන්නට පටන්ගෙන තිබුණේ ය. දිනක් ඔහු සිය කාමරයෙහි සැතපෙමින් සිටියේ ය.</verse>
				<verse number="3">සාමුවෙල් ද දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව තිබුණු සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානයෙහි නිදාගෙන සිටියේ ය. එහි පහන එතෙක් දැල්වෙමින් තිබුණේ ය.</verse>
				<verse number="4">එවිට සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට අඬගැසූ සේක. ඔහු ද, “මම මෙහි ය”යි කී ය.</verse>
				<verse number="5">එසේ කියා, ඒලී ළඟට දිව ගොස්, “ඔබ මට අඬගැසුවෙහි ය. මම මෙහි ය”යි කීවේ ය. ඒලී ද, “මම අඬ නොගැසීමි; නැවත නිදාගන්නැ”යි කීවේ ය. ඔහු ගොස් නිදාගත්තේ ය.</verse>
				<verse number="6">සමිඳාණන් වහන්සේ නැවතත්, “සාමුවෙල්” කියා අඬගැසූ සේක. සාමුවෙල් නැඟිට ඒලී ළඟට ගොස්, “ඇත්තට ම ඔබ මට අඬගැසුවෙහි ය; මෙන්න, මම මෙහි ය”යි කී ය. එහෙත්, ඒලී පිළිතුරු දෙමින්, “මාගේ පුත්‍රය, මම අඬ නොගැසීමි, නැවතත් නිදාගන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="7">සාමුවෙල් ඒ වන තුරු සමිඳාණන් වහන්සේ දැන සිටියේ නැත. ඒ වන තුරු සමිඳාණන් වහන්සේගේ වචන ඔහුට එළිදරව් නො වී ය.</verse>
				<verse number="8">සමිඳාණන් වහන්සේ යළිත් තුන් වන වරටත් සාමුවෙල්ට අඬගැසූ සේක. ඔහු නැඟිට ඒලී ළඟට ගොස්, “ඔබ මට කතා කෙළෙහි ය. මෙන්න, මම මෙහි ය”යි කී ය. එවිට, සමිඳාණන් වහන්සේ ළමයාට අඬගසන බව ඒලී තේරුම් ගත්තේ ය.</verse>
				<verse number="9">එබැවින් ඒලී සාමුවෙල්ට කතා කොට, “ඔබ ගොස් නිදාගන්න. ඔබට නැවත අඬගැසුවොත්, ‘සමිඳාණන් වහන්ස, කතා කළ මැනව; ඔබ වහන්සේගේ මෙහෙකරුවා සවන් දී සිටිනවා’යි කියන්නැ”යි කීවේ ය. සාමුවෙල් ගොස් තමාගේ යහනේ නිදාගත්තේ ය.</verse>
				<verse number="10">එවිට සමිඳාණන් වහන්සේ වැඩම කර, පළමු වතාවල දී මෙන්, “සාමුවෙල්, සාමුවෙල්,” කියා අඬගැසූ සේක. සාමුවෙල් පිළිතුරු දෙමින්, “කතා කළ මැනව; ඔබ වහන්සේගේ මෙහෙකරුවා සවන් දී සිටිනවා ය”යි කීවේ ය.</verse>
				<verse number="11">සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට මෙසේ වදාළ සේක: “මෙන්න, මම ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව කරන්නට යන දේ; ඒ ගැන අසන සියල්ලන්ගේ කන් දෙක ලෙල දෙන්නේ ය.</verse>
				<verse number="12">මා ඒලීගේ වංශය ගැන කී සියල්ල ම, මුල පටන් අග දක්වා, ඒ දවසේ දී ඒලීට විරුද්ධ ව ඉෂ්ට කරන්නෙමි.</verse>
				<verse number="13">ඒලීගේ පුත්‍රයන් තමන් පිට සාපයක් පමුණුවා ගන්න බව ඔහු දැනගෙන සිටිය දී, ඔවුන් නොවැළැක්වීමේ අපරාධය නිසා මම ඔහුගේ වංශයට සෑම කල්හි ම දඬුවම් කරන්නෙමි යි මම ඔහුට දැන්වීමි.</verse>
				<verse number="14">එබැවින් ඒලීගේ වංශයේ අපරාධය කිසි යම් පූජාවකින් වත්, පඬුරකින් වත් පහකළ නොහැකි බව මා දිවුරා ඇත.”</verse>
				<verse number="15">සාමුවෙල් පහන් වන තුරු නිදා හිඳ, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරවල් ඇරියේ ය. එහෙත්, සාමුවෙල් තමා දුටු දර්ශනය ඒලීට දන්වන්න බිය ව සිටියේ ය.</verse>
				<verse number="16">එවිට ඒලී, “සාමුවෙල්, මාගේ පුත්‍රය,” කියා සාමුවෙල් ඇමතුවේ ය. ඔහු ද, “මම මෙහි ය”යි පිළිතුරු දුන්නේ ය.</verse>
				<verse number="17">එවිට ඒලී, “සමිඳාණන් වහන්සේ ඔබට කී දේ කුමක් ද? ඒක මාගෙන් නොසඟවන්න. උන් වහන්සේ ඔබට වදාළ සියලු දේ කිසිවක් මාගෙන් නොසඟවා ඔබ මට නොකියන්නෙහි නම්, දෙවියන් වහන්සේ ඔබට ඉතා තද ලෙස දඬුවම් කරන සේක් වා”යි කීවේ ය.</verse>
				<verse number="18">එවිට සාමුවෙල් කිසිවක් නොසඟවා සියල්ල ම ඔහුට කීවේ ය. ඒ ඇසූ ඒලී, “උන් වහන්සේ සමිඳාණන් වහන්සේ ය; උන් වහන්සේ යහපත් ය; උන් වහන්සේට යහපත් යැයි සිතෙන දේ කරන සේක් වා”යි පැවසී ය.</verse>
				<verse number="19">සාමුවෙල් වැඩුණේ ය. සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිට ඔහු කී හැම දෙයක් ම එකක් වත් නෑර ඉෂ්ට කළ සේක.</verse>
				<verse number="20">සාමුවෙල් සමිඳාණන් වහන්සේගේ දිවැසිවරයෙකු වශයෙන් ස්ථිර කරන ලද බව, උතුරේ සිට දකුණ දක්වා සිටි සියලු ඉශ්රායෙල්වරු දැනගත්තෝ ය.</verse>
				<verse number="21">සමිඳාණන් වහන්සේ ෂිලෝහි දී සාමුවෙල්ට ප්‍රකාශ වූ සේක. එහි දී නැවත නැවත ප්‍රකාශ වී ඔහු සමඟ කතා කළ සේක.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">සාමුවෙල් කතා කළ විට ඉශ්රායෙල් ජනතාව ඔහුගේ වචන පිළිගත්හ. එකල ඉශ්රායෙල්වරු පිලිස්තිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට පිටත් ව ගොස්, එබෙන්-එශෙර් ළඟ කඳවුරු බැඳගත්හ.</verse>
				<verse number="2">පිලිස්තිවරු අපෙක්හි කඳවුරු බැඳගත්හ. පිලිස්තිවරුන් ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටනට සැරසී, දරුණු ලෙස සටන් කළ පසු ඉශ්රායෙල්වරු පිලිස්තිවරුන්ට පරාජය වූ හ. ඔව්හු යුද්ධ භූමියේ සේනාවෙන් මිනිසුන් හාරදාහක් පමණ මැරූහ.</verse>
				<verse number="3">ඉශ්රායෙල්වරුන් කඳවුරට ආපසු ආ කල, ඉශ්රායෙල්හි ප්‍රජා මූලිකයෝ කතා කොට, “අද අප පරාජය කරන්නට සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන්ට ඉඩ දුන්නේ මන් ද? සමිඳාණන් වහන්සේ අප අතරට පැමිණ අපේ සතුරන්ගේ අතින් අප ගළවන පිණිස උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ෂිලෝවෙන් ගෙන්වා ගනිමු”යි කී හ.</verse>
				<verse number="4">ඒ කී ලෙස ඔව්හු ෂිලෝ නගරයට මිනිසුන් යවා, කෙරුබ්වරුන් අතර පිහිටි සිහසුන මත වැඩහිඳින සියලු බලැති සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන්වා ගත්හ. හොප්නි සහ පිනෙහාස් යන ඒලීගේ පුත්‍රයෝ දෙදෙන දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව සමඟ පැමිණියහ.</verse>
				<verse number="5">සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කඳවුරට ගෙනෙනු ලැබූ කල මුළු ඉශ්රායෙල් ජනතාව පොළොව පුරා දෝංකාර දෙන මහත් ඝෝෂාවකින් මොරහඬ නැඟුවහු ය.</verse>
				<verse number="6">පිලිස්තිවරු ඒ මොරගැසීමේ ශබ්දය අසා, “හෙබ්‍රෙව්වරුන්ගේ කඳවුරේ ඇසෙන මේ මහා ඝෝෂාව කුමක් දැ”යි ඇසූ හ. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කඳවුරට ගෙනා බව ඔව්හු දැන ගත්හ.</verse>
				<verse number="7">ඒ නිසා පිලිස්තිවරු බිය වූ හ. මන්ද, “දෙවියන් වහන්සේ කඳවුරට වැඩිය සේකැ”යි ඔව්හු කී හ. තවද, ඔව්හු කතා කොට, “අපට වන විපතක මහත! මන්ද, මෙබඳු දෙයක් මීට පෙර නො වී ය.</verse>
				<verse number="8">අනේ, අපට වන විපතක මහත! මේ බලසම්පන්න දෙවිවරුන්ගේ අතින් අප ගළවාගන්නෝ කවුරු ද? මේ දෙවිවරු වනාහි කාන්තාරයේ මිසරවරුන්ට සියලු ආකාර වසංගතවලින් පහර දුන් දෙවිවරු ය.</verse>
				<verse number="9">පිලිස්තිවරුනි, ධෛර්ය සම්පන්න වී වීර පුරුෂයන් මෙන් සටන් කරන්න. එසේ නොකළොත් ඔවුන් අපේ වහලුන් වූවාක් මෙන් අපි හෙබ්‍රෙව්වරුන්ගේ වහල්ලු වන්නෙමු. ඒ නිසා වීර පුරුෂයන් මෙන් සටන් කරන්නැ”යි කී හ.</verse>
				<verse number="10">එවිට පිලිස්තිවරු සටන් කළහ. ඉශ්රායෙල්වරු පැරදී එක එකා තම තමාගේ කූඩාරම්වලට පලා ගියෝ ය. ඉමහත් ඝාතනයක් ඇති විය. ඉශ්රායෙල් හේවායෝ තිස්දාහක් මරනු ලැබූ හ.</verse>
				<verse number="11">දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුවත් ඔවුන් අතට අසු විණි. ඒලීගේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නි සහ පිනෙහාස් ද මැරුම්කෑහ.</verse>
				<verse number="12">බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් මිනිසෙක් යුද්ධ භූමියෙන් දුව ගොස් එම දවසේ ම ෂිලෝ නගරයට පැමිණියේ ය. ඔහු ඇඳුම් ඉරාගෙන, හිසේ පස් දමාගෙන සිටියේ ය.</verse>
				<verse number="13">ඔහු එන විට ඒලී පාර අද්දර තිබුණ තමාගේ ආසනයෙහි ඉඳගෙන බලා සිටියේ ය. මන්ද, දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගැන ඔහුගේ සිත බොහෝ සේ තැති ගෙන තිබිණි. ඒ මිනිසා නගරයට අවුත් ආරංචිය කී කල නුවර වැසි සියල්ලෝ මොරහඬ දුන්හ.</verse>
				<verse number="14">ඒලී මොරගැසීමේ ශබ්දය අසා, “අර කෝලාහල ශබ්දය කිමෙක් දැ”යි ඇසී ය. ඒ මිනිසා ඉක්මනින් අවුත් ඒලීට ආරංචිය සැළ කෙළේ ය.</verse>
				<verse number="15">ඒලී වනාහි අනූඅට අවුරුද්දක් වයස් ව සිටියේ ය; ඔහුගේ ඇස් නොපෙනෙන තරමට අඳුරුව තිබුණේ ය.</verse>
				<verse number="16">ඒ මිනිසා කතා කොට, “යුද්ධ භූමියේ සිට ආ තැනැත්තා මම ය; එතැන සිට මෙතැනට අද මම දුවගෙන ආවෙමි”යි ඒලීට කීවේ ය. ඒලී ද, “මාගේ පුත්‍රය, එහි සිදුවුණේ කිමෙක් දැ”යි ඇසී ය.</verse>
				<verse number="17">පණිවුඩකාරයා උත්තර දෙමින් “ඉශ්රායෙල්වරු පිලිස්තිවරුන් ඉදිරියෙන් පලා ගියහ. සෙනඟ අතරේ ඉමහත් ඝාතනයක් ඇති විය; ඔබේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නි ද පිනෙහාස් ද මළහ. දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද පැහැර ගනු ලැබී ය”යි කීවේ ය.</verse>
				<verse number="18">ඔහු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගැන සඳහන් කළ විට, ඒලී හුනස්නෙන් දොරටුව සමීපයෙහි පස්සට වැටී බෙල්ල කැඩී මළේ ය. මන්ද, ඔහු මහලු තරබාරු මිනිසෙකු වූ බැවිනි. ඔහු සතළිස් අවුරුද්දක් ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය.</verse>
				<verse number="19">ඒලීගේ ලේලී යන පිනේහාස්ගේ බිරිඳ ගැබ්ගෙන දරුවෙකු ලබන්නට ආසන්න ව සිටියා ය. දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව සතුරන් අතට අසු වූ බවත්, ඇගේ මාමණ්ඩිය ද ස්වාමි පුරුෂයා ද මැරුණ බවත් ඈ ඇසූ කල, ප්‍රසව වේදනාව හටගෙන ඈ නැඹුරු වී දරුවා බිහි කළා ය.</verse>
				<verse number="20">ඈ මැරෙන වේලාවේ ඈ ළඟ සිටි ස්ත්‍රීහු කතා කොට, “බිය නොවන්න; ඔබ පුත්‍රයෙකු ලැබුවෙහි යැ”යි කීවෝ ය. එහෙත්, ඈ පිළිතුරු දුන්නේ වත්, ඒ ගැන සැලකුවේ වත් නැත.</verse>
				<verse number="21">දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව සතුරන් අතට අසු වූ නිසා ද ඇගේ මාමාත්, ස්වාමි පුරුෂයාත් මළ නිසා ද ඈ, “ඉශ්රායෙල් කෙරෙන් තේජස පහ ව ගියේ ය” කියා දරුවාට ‘ඊකාබොද්’ යන නම තැබුවා ය.</verse>
				<verse number="22">දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව සතුරන් අතට අසු වූ හෙයින්, “ඉශ්රායෙල් කෙරෙන් තේජස පහ ව ගියේ ය”යි ඈ කීවා ය.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">පිලිස්තිවරු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව රැගෙන එබෙන්-එශෙර්හි සිට අෂ්දොද් නගරයට එය ගෙනාවෝ ය.</verse>
				<verse number="2">ඔව්හු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව, රැගෙන දාගොන් දෙවියාගේ දේවාලයට ගෙන ගොස් දාගොන් ළඟ තැබූ හ.</verse>
				<verse number="3">පසු දා අලුයම අෂ්දොද්හි වැසියන් අවදි වූ විට, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරිපිට දාගොන් මුණින්තළා වී තිබෙනවා ඔව්හු දුටුහ. ඔව්හු දාගොන් රැගෙන නැවත ඔහු කලින් තිබූ ස්ථානයෙහි ම තැබූ හ.</verse>
				<verse number="4">ඔව්හු පසු දා අලුයම අවදි වූ විටත් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ළඟ යළිත් දාගොන් මුණින්තළා වී බිම සිටිනවා දුටුහ; දාගොන්ගේ හිස ද අත් දෙක ද වෙන් වී එළිපත්ත උඩ තිබෙනවා දුටුහ; ඉතිරි ව තිබුණේ කඳ පමණක් ය.</verse>
				<verse number="5">අද දවස දක්වා ම දාගොන්ගේ පූජකයන් ද දාගොන්ගේ දේවාලයට ඇතුළු වන අය ද අෂ්දොද්හි තිබෙන දාගොන්ගේ දේවාලයේ එළිපත්ත නොපාගන්නේ එබැවිනි.</verse>
				<verse number="6">එකල සමිඳාණන් වහන්සේ සිය බාහු බලයෙන් අෂ්දොද් වැසියන්ට තදින් පහර දුන් සේක. උන් වහන්සේ අෂ්දොද්හි වැසියන්ටත්, එහි දිසාවල වැසියන්ටත් භයානක ගඩු හටගැන්වීමෙන් පහර දුන් සේක.</verse>
				<verse number="7">අෂ්දොද් වැසියෝ සිදු වූ දේ දැක, “ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අප ළඟ නොතිබිය යුතු ය; මන්ද, උන් වහන්සේ සිය බාහු බලයෙන් අපටත්, අපේ දෙවියා වන දාගොන්ටත් තදින් දඬුවම් කරන සේකැ”යි කී හ.</verse>
				<verse number="8">එබැවින් ඔව්හු පණිවුඩ යවා, පිලිස්තිවරුන්ගේ අධිපතීන් පස්දෙනා තමන් ළඟට රැස් කර, “ඉශ්රායෙල් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගැන අප කුමක් කළ යුතු දැ”යි විමසූ හ. ඔව්හු පිළිතුරු දෙමින්, “ඉශ්රායෙල් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගාත් නගරයට ගෙන යන්නැ”යි කී හ. ඒ කී ලෙස ඔව්හු ඉශ්රායෙල් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව එහි ගෙන ගියහ.</verse>
				<verse number="9">ඔවුන් එය ගෙන ගිය විට, සමිඳාණන් වහන්සේ සිය බාහු බලය පා ඒ නගරයට දඬුවම් කොට එහි ඉමහත් කැළඹීමක් ඇති වන්නට සැලැසූ සේක. උන් වහන්සේ නුවර වැසි ලොකු කුඩා සියල්ලන් පිට භයානක ගඩු හටගන්වා ඔවුන්ට පහර දුන් සේක.</verse>
				<verse number="10">එවිට ඔව්හු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව එක්‍රොන් නගරයට යැව්වෝ ය. දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව එක්‍රොන් නගරයට පැමිණි කල එහි වැසියෝ, “අප ද අපේ සෙනඟ ද නසන්නට ඉශ්රායෙල් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අප ළඟට ගෙනවුත් ඇතැ”යි කියමින් මොරගැසූ හ.</verse>
				<verse number="11">එබැවින් ඔව්හු පණිවුඩ යවා, පිලිස්තිවරුන්ගේ සියලු අධිපතීන් රැස් කරවා, “ඉශ්රායෙල් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අප හා අපේ සෙනඟ විනාශ නොකරන පිණිස එය ස්වකීය ස්ථානයට ආපසු යවන්නැ”යි කී හ. එසේ කීවේ, නගරය මුළුල්ලේ මාරක කැළඹීමක් හටගත් නිසා ය; දෙවියන් වහන්සේගේ බාහු බලයෙන් එයට තදින් පහර වැදුණේ ය.</verse>
				<verse number="12">නොමළ අය ගඩුවලින් පීඩා වින්දෝ ය; නගර වැසියන්ගේ විලාපය ද අහස දක්වා නැඟුණේ ය.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව පිලිස්තිවරුන්ගේ රටෙහි හත් මාසයක් තිබිණි.</verse>
				<verse number="2">පිලිස්තිවරු පූජකයන් ද පේන කියන්නන් ද කැඳවා, “සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව සම්බන්ධයෙන් අප කුමක් කළ යුතු ද? එය ස්වකීය ස්ථානයට කුමන දෙයක් සමඟ යැවිය යුතු ද කියා අපට දන්වන්නැ”යි කී හ.</verse>
				<verse number="3">ඔව්හු පිළිතුරු දෙමින්, “ඔබ, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ආපසු යවන්නහු නම්, එය හිස් අතින් නෑර, ඔබේ පව් වෙනුවෙන් වන්දි පූජාවක් උන් වහන්සේට යවන්න. එවිට ඔබ සුව වන්නහු ය. උන් වහන්සේගේ බාහු බලයෙන් කෙරෙන පීඩා ඔබ කෙරෙන් පහ ව නොයන්නේ කුමක් නිසා ද කියා ඔබට දැනගන්නට ලැබෙනු ඇතැ”යි කීවෝ ය.</verse>
				<verse number="4">“අප කුමන වන්දි පූජාවක් ගෙවිය යුතු දැ”යි ඔව්හු ඇසූ හ. පූජකවරු හා පේන කියන්නෝ පිළිතුරු දෙමින්, “පිලිස්තිවරුන්ගේ අධිපතීන්ගේ ගණන අනුව රනින් කළ ගඩු රූප පහකුත්, රනින් කළ මීයන් පස්දෙනෙකුත් ය. මන්ද, ඔබ සියල්ලන් හා ඔබේ අධිපතීන් කෙරෙහි පැමිණුණේ එක ම පීඩාවක් ය.</verse>
				<verse number="5">එබැවින් ගඩු රූප ද රට නාස්ති කරන මී රූප ද සාදා ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට ගෞරව දෙන්න. එසේ කළොත්, සමහර විට උන් වහන්සේ ස්වකීය බාහු බලයන් ඔබ කෙරෙන් ද ඔබේ දෙවිවරුන් කෙරෙන් ද ඔබේ දේශය කෙරෙන් ද ඉවත් කරනු ඇත.</verse>
				<verse number="6">මිසරවරුන් හා පාරාවෝ ඔවුන්ගේ සිත් දැඩි කරගත් ලෙස ඔබත් සිත් දැඩි කරගන්නේ කුමට ද? උන් වහන්සේ ඔවුන් මෝඩයන් කළ විට ඔවුන් සෙනඟට යන්නට අවකාශ දුන්නා නොවේ ද? ඉශ්රයෙල්වරුන් පිටත් ව ගියා නොවේ ද?</verse>
				<verse number="7">දැන් ඉතින් අලුත් ගැලක් සාදාගෙන වියගහ නොදැරූ කිරි එළදෙනුන් දෙදෙනෙකු ගෙන ගැලට බැඳ, උන්ගේ වස්සන් උන් වෙතින් වෙන් කර ගාලේ නවත්වන්න.</verse>
				<verse number="8">ඉන්පසු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන ගැල මත තබා, වන්දි පූජාව පිණිස උන් වහන්සේට දෙන රන් භාණ්ඩ එහි පැත්තක කුඩා කරඬුවක තබා ගැල යන දෙසක යන්නට එයට ඉඩ හැර බලා සිටින්න.</verse>
				<verse number="9">ඉතින්, එය සිය දේශ සීමාවට යන මාර්ගයේ බෙත්-ෂෙමෙෂ්ට ගියොත්, මේ මහත් විපත්තිය අපට සිදු කෙළේ උන් වහන්සේ බව එයින් පෙනෙයි; එසේ නැත්නම්, අපට පහර දුන්නේ උන් වහන්සේ නොව, එය ඉබේ ම අපට පැමිණි දෙයක් බව අපට පෙනෙනු ඇතැ”යි කීවෝ ය.</verse>
				<verse number="10">ඔව්හු එලෙස කරමින්, කිරි එළදෙනුන් දෙදෙනෙකු ගෙන ගැලට බැඳ, උන්ගේ වස්සන් ගාල් කොට තබා,</verse>
				<verse number="11">සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද රන් මී රූප සහ ගඩු රූප දැමූ කුඩා කරඬුව ද ගැලෙහි තැබූ හ.</verse>
				<verse number="12">එළදෙන්නු බෙත්-ෂෙමෙෂ්ට යන මාර්ගයේ ගියෝ ය; දකුණට වත්, වමට වත් නොහැරී තපුල්ලමින් එම මාවත දිගේ ම ගියෝ ය; පිලිස්තිවරුන්ගේ අධිපතියෝ ද බෙත්-ෂෙමෙෂ්හි සීමාව දක්වා උන් පසුපස ගියහ.</verse>
				<verse number="13">බෙත්-ෂෙමෙෂ්හි මිනිස්සු මිටියාවතේ තිරිඟු කපමින් සිටියෝ ය. ඔව්හු හිස ඔසවා බලා, ගිවිසුම් කරඬුව දැක ප්‍රීතියෙන් පිනා ගියහ.</verse>
				<verse number="14">ගැල ද බෙත්-ෂෙමෙෂ්හි ජෝෂුවාගේ කෙතට පැමිණ එහි නැවතුණේ ය. එහි ලොකු ගලක් තිබුණේ ය. සෙනඟ ගැලේ ලී පළා, එළදෙනුන් සමිඳාණන් වහන්සේට දවන යාග පූජාවක් කොට ඔප්පු කළෝ ය.</verse>
				<verse number="15">ලෙවීවරු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද රන් භාණ්ඩ දමා තිබුණු කරඬුව ද ගෙන, මහ ගල මත තැබූහ. බෙත්-ෂෙමෙෂ් වැසියෝ ඒ දවසේ දී සමිඳාණන් වහන්සේට දවන යාග පූජා ඔප්පු කොට, පඬුරු ද පිදුවෝ ය.</verse>
				<verse number="16">පිලිස්තිවරුන්ගේ අධිපතීහු පස්දෙන ඒ දැක එදා ම එක්‍රොන්ට හැරී ගියහ.</verse>
				<verse number="17">පිලිස්තිවරු වන්දි පූජාවක් වශයෙන්, අෂ්දොද් උදෙසා ද ගාසා උදෙසා ද අෂ්කෙලොන් උදෙසා ද ගාත් උදෙසා ද එක්‍රොන් උදෙසා ද එක එක බැගින් රනින් කළ ගඩු යැවූහ. තවද, ඔව්හු පිලිස්තිවරුන්ගේ අධිපතීන් පස්දෙනා විසින් පාලනය කරන ලද නගර වෙනුවෙන් එකකට එක රූපයක් බැගින් රනින් කළ මී රූප යැවූහ.</verse>
				<verse number="18">ඒ නගරවලට පවුරු සහිත නගර ද පිටිසර ගම් ද ඇතුළත් ය. ඔවුන් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව තැබූ බෙත්-ෂෙමෙෂ්හි ජෝෂුවාගේ කෙතෙහි විශාල ගල, මේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂියක් වශයෙන් අද දක්වා ම තිබේ.</verse>
				<verse number="19">බෙත්-ෂෙමෙෂ්හි මනුෂ්‍යයන් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඇර බැලූ නිසා, උන් වහන්සේ සෙනඟගෙන් සැත්තෑදෙනෙකුට පහර දුන් සේක. සමිඳාණන් වහන්සේ සෙනඟ අතරෙහි මේ සා මහත් ඝාතනයක් කළ බැවින් සෙනඟ වැලපුණෝ ය.</verse>
				<verse number="20">බෙත්-ෂෙමෙෂ්හි මනුෂ්‍යයෝ කතා කොට, “සමිඳාණන් වහන්සේ වන ශුද්ධ දෙවියන් වහන්සේ ඉදිරියෙහි සිටින්නට පුළුවන් කවරෙකුට ද? උන් වහන්සේ අප වෙතින් බැහැර කරන පිණිස ගිවිසුම් කරඬුව කොතැනට යැවිය හැකි දැ”යි ඇසුවෝ ය.</verse>
				<verse number="21">ඔව්හු කිරියත්-ජෙයාරීම්හි වැසියන් වෙත දූතයන් අත පණිවුඩයක් යවමින්, “පිලිස්තිවරුන් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ආපසු එවා තිබේ; අවුත් එය ගෙන යන්නැ”යි කී හ.</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">කිරියත්-ජෙයාරීම් වැසියෝ අවුත්, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව රැගෙන, කන්ද පිට පිහිටි අබිනාදාබ්ගේ ගෙට ගෙන ගොස්, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව රක්ෂා කරන පිණිස එලෙයාසර් භාරකරු ලෙස පත් කළහ.</verse>
				<verse number="2">සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කිරියත්-ජෙයාරීම්හි තැන්පත් කළ දා පටන් දීර්ඝ කාලයක් එනම්, විසි අවුරුද්දක්, ගත විය. මේ කාලය තුළ දී මුළු ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේගේ උපකාරය සොයා මොරගැසූ හ.</verse>
				<verse number="3">සාමුවෙල් මුළු ඉශ්රායෙල් ජනයා අමතා, “ඔබ හැම මුළු සිතින් ඔබේ සමිඳාණන් වහන්සේ වෙත හැරී එන්නහු නම්, ඔබ අතරෙන් අන්‍ය දෙවිවරුන් ද අෂ්ටාරොත් දේවතාවිය ද පහ කරදමා, ඔබේ සිත් සමිඳාණන් වහන්සේ දෙසට ම යොමු කොට උන් වහන්සේට පමණක් වැඳුම්පිදුම් කරන්න. උන් වහන්සේ ද පිලිස්තිවරුන්ගේ අතින් ඔබ ගළවාගනු ඇතැ”යි කීවේ ය.</verse>
				<verse number="4">එවිට ඉශ්රායෙල් ජනයා බාල් දේවතාවන් ද අෂ්ටාරොත් ද පහ කරදමා සමිඳාණන් වහන්සේට පමණක් වැඳුම්පිදුම් කළහ.</verse>
				<verse number="5">එවිට සාමුවෙල් කතා කොට, “මා ඔබ උදෙසා සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන පිණිස සියලු ඉශ්රායෙල්වරුන් මිශ්පා නගරයට රැස් කරන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="6">ඔව්හු මිශ්පා නගරයට රැස් වී වතුර ඇද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජාවක් වශයෙන් වත් කොට, ඒ දවසේ නිරාහාර ව සිට, “අපි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමු”යි එහි දී කී හ. සාමුවෙල් මිශ්පාහි පදිංචි වී සිට ඉශ්රායෙල් ජනයා විනිශ්චය කෙළේ ය.</verse>
				<verse number="7">ඉශ්රායෙල් ජනයා මිශ්පා නගරයට රැස් ව සිටින බව පිලිස්තිවරුන් ඇසූ කල ඔවුන්ගේ අධිපතීහු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව නැඟී ආහ. ඉශ්රායෙල් ජනයා ඒ අසා පිලිස්තිවරුන්ට බිය වූ හ.</verse>
				<verse number="8">එවිට ඔව්හු සාමුවෙල්ට කතා කොට, “අපේ දෙවි සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන්ගේ අතින් අප ගළවන පිණිස අප උදෙසා නොනැවතී ම යාච්ඤා කළ මැනවැ”යි කී හ.</verse>
				<verse number="9">සාමුවෙල් කිරි බොන බැටළු පැටවෙකු රැගෙන සමිඳාණන් වහන්සේට දවන යාග පූජාවක් කොට ඔප්පු කර ඉශ්රායෙල්වරුන් උදෙසා සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය; සමිඳාණන් වහන්සේ ඔහුට උත්තර දුන් සේක.</verse>
				<verse number="10">සාමුවෙල් දවන යාග පූජාව ඔප්පු කරන වේලේ ම පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටනට ළං වූ හ. එහෙත්, සමිඳාණන් වහන්සේ ඒ දවසේ දී පිලිස්තිවරුන්ට විරුද්ධ ව මහ හඬින් ගිගුරුම් දී ඔවුන් වියවුලට පත් කළ සේක. ඔව්හු ඉශ්රායෙල්වරුන් කෙරෙන් පලා ගියහ.</verse>
				<verse number="11">ඉශ්රායෙල් ජනයා මිශ්පා නුවරින් නික්ම, පිලිස්තිවරුන් ලුහුබැඳ ගොස්, බෙත්-කාර්ට පැමිණෙන තුරු ඔවුන්ට පහර දුන්හ.</verse>
				<verse number="12">එවිට සාමුවෙල් ගලක් ගෙන මිශ්පා නගරයටත්, ෂේන් නගරයටත් අතරේ තබා, “මෙතැන් දක්වා සමිඳාණන් වහන්සේ අපට පිහිට වූ සේකැ”යි කියමින් ඊට ‘එබෙන්-එශෙර් ය’යි නම තැබුවේ ය.</verse>
				<verse number="13">මෙසේ පිලිස්තිවරු පරාජය වී ඉශ්රායෙල් දේශයේ සීමාවට ඇතුළු නො වූ හ. සාමුවෙල්ගේ මුළු ජීවිත කාලය තුළ සමිඳාණන් වහන්සේගේ බාහු බලය පිලිස්තිවරුන්ට විරුද්ධ ව පැවතුණේ ය.</verse>
				<verse number="14">පිලිස්තිවරුන් විසින් එක්‍රොන් සිට ගාත් දක්වා ඉශ්රායෙල්වරුන්ගෙන් ගන්නා ලද නගර ආපසු ඉශ්රායෙල්වරුන්ට දෙන ලද්දේ ය. ඉශ්රායෙල්වරු සියලු දේශ සීමාවන් පිලිස්තිවරුන්ගේ අතෙන් මුදාගත්හ. ඉශ්රායෙල්වරුන් හා අමෝරිවරුන් අතර සාමදානය ද පැවතිණි.</verse>
				<verse number="15">සාමුවෙල් ජීවිතාන්තය දක්වා ඉශ්රායෙල්වරුන් විනිශ්චය කෙළේ ය.</verse>
				<verse number="16">ඔහු වසරක් පාසා වසරක් බෙතෙල්ටත්, ගිල්ගාල්ටත්, මිශ්පාටත් පිළිවෙළින් ගොස් ඒ ඒ ස්ථානවල දී ඉශ්රායෙල්වරුන් විනිශ්චය කෙළේ ය.</verse>
				<verse number="17">ඉන්පසු ඔහු රාමා නගරයට ගියේ ය. මන්ද, ඔහුගේ ගෙය තිබුණේ එහි බැවිනි. එහි දී ද ඔහු ඉශ්රායෙල්වරුන් විනිශ්චය කෙළේ ය. තවද, ඔහු එහි සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනැඟුවේ ය.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">සාමුවෙල් මහලු වයසට පත් වූ කල ඔහු තමාගේ පුත්‍රයන් ඉශ්රායෙල්වරුන්ගේ විනිශ්චයකාරයන් වශයෙන් පත් කෙළේ ය.</verse>
				<verse number="2">ඔහුගේ කුලුඳුල් පුත්‍රයාගේ නම ජෝවෙල් ය; දෙවැන්නාගේ නම අබියා ය. ඔව්හු බෙයර්-ෂෙබාහි විනිශ්චයකාරයෝ වූ හ.</verse>
				<verse number="3">එහෙත්, සාමුවෙල්ගේ පුත්‍රයෝ ඔහුගේ අඩි පාරේ නොගොස්, වස්තු තණ්හාවෙන් අල්ලස් ගෙන, යුක්තියට පිටුපා ක්‍රියා කළහ.</verse>
				<verse number="4">එවිට ඉශ්රායෙල්වරුන්ගේ සියලු ප්‍රජා මූලිකයෝ එක් රැස් වී රාමාහි සිටි සාමුවෙල් වෙත අවුත්,</verse>
				<verse number="5">ඔහුට කතා කොට, “ඔබ මහලු ව සිටින්නෙහි ය, ඔබේ පුත්‍රයෝ ඔබේ අඩි පාරෙහි ගමන් නොකරති. ඉතින් අන් ජාතීන්ට මෙන් අප පාලනය කරන පිණිස අපටත් රජ කෙනෙකු පත් කළ මැනවැ”යි කී හ.</verse>
				<verse number="6">“අප පාලනය කරන පිණිස අපට රජ කෙනෙකු දුන මැනවැ”යි කී කීම ගැන සාමුවෙල් අසතුටු වී සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය.</verse>
				<verse number="7">සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “සෙනඟ නුඹට කී සියල්ල ගැන ඔවුන්ගේ හඬට සවන් දෙන්න. ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ නුඹ නොවේ, ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ මා ය. මන්ද, මා ඔවුන් කෙරෙහි රජකම් කිරීමෙන් වළක්වන පිණිස</verse>
				<verse number="8">මා ඔවුන් මිසර දේශයෙන් ගෙනා දා පටන් අද දවස දක්වා ඔව්හු මා අත්හැර අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කළෝ ය. ඔව්හු සෑම කල්හි ම මට කළ දේ දැන් නුඹටත් කරති.</verse>
				<verse number="9">දැන් ඉතින් ඔවුන්ගේ හඬට ඇහුම්කන් දෙන්න. එසේ වී නමුත්, ඔවුන් කෙරෙහි රජකම් කරන රජු ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියා කරන අන්දම ගැන ඔවුන්ට විස්තර කර දෙන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="10">එවිට සාමුවෙල් තමාගෙන් රජෙකු ඉල්ලා සිටි සෙනඟට සමිඳාණන් වහන්සේ වදාළ සියලු දේ කීවේ ය.</verse>
				<verse number="11">ඔහු ඔවුන්ට මෙසේ කීවේ ය: “ඔබ කෙරෙහි රජකම් කරන රජ මෙවැන්නෙක් වන්නේ ය. ඔහු ඔබේ පුත්‍රයන් ගෙන තමාගේ රියැදුරන් හා අසරුවන් වශයෙන් ද තමාගේ රථවලට පෙරටුව දුවන පිණිස ද පත් කරගන්නේ ය.</verse>
				<verse number="12">ඔහු ඔවුන් සහශ්‍රාධිපතීන් ද පණසාධිපතීන් ද වශයෙන් පත් කරගන්නේ ය; සමහරුන් තමාගේ බිම් හාන්නට ද තමාගේ ගොයම් කපන්නට ද තමාගේ යුද්ධ ආයුධත්, රථායුධත් සාදන්නට ද පත් කරගන්නේ ය.</verse>
				<verse number="13">ඔහු ඔබේ දූවරුන් සුවඳ ද්‍රව්‍ය සාදන පිණිස ද කෑම පිසින පිණිස ද රොටි පුළුස්සන පිණිස ද ගන්නේ ය.</verse>
				<verse number="14">ඔහු ඔබේ කෙත් ද මිදි වතු ද ඔලීව වතු අතරෙන් ඉතා හොඳ ඒවා ද රැගෙන තමාගේ නිලධාරීන්ට දෙන්නේ ය.</verse>
				<verse number="15">ඔබේ ධාන්‍යවලින් ද මුද්‍රික ඵලයෙන් ද දසයෙන් කොටසක් ගෙන තමාගේ රජ වාසලේ නිලධාරීන්ටත්, සෙසු නිලධාරීන්ටත් දෙන්නේ ය.</verse>
				<verse number="16">ඔබේ දාස දාසීන් ද ඔබේ හොඳ ම ගවයන් ද කොටළුවන් ද තමාගේ වැඩට පත් කරගන්නේ ය.</verse>
				<verse number="17">ඔහු ඔබේ බැටළුවන්ගෙන් දසයෙන් කොටසක් ගන්නේ ය; ඔබ ඔහුගේ වහල්ලු වන්නහු ය.</verse>
				<verse number="18">ඒ කාලය පැමිණි විට ඔබ ම තෝරාගත් ඔබේ රජු ගැන ඔබ දැඩි ලෙස පැමිණිලි කරනු ඇත. එහෙත්, සමිඳාණන් වහන්සේ ඒ දවසේ දී ඔබට උත්තර නොදෙන සේක.”</verse>
				<verse number="19">එහෙත්, සෙනඟ සාමුවෙල් කී දේට සවන් නොදී, “නැත. අපටත් රජ කෙනෙකු ඕනෑ ම ය.</verse>
				<verse number="20">එවිට අප විනිශ්චය කරන, අපට පෙරටුව ගොස් අපේ යුද්ධවල දී සටන් කරන රජ කෙනෙක් අපට ඇත. අපිත් අන් ජාතීන් මෙන් වන්නෙමු”යි කී හ.</verse>
				<verse number="21">සාමුවෙල් සෙනඟගේ සියලු වචන අසා, ඒවා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කීවේ ය.</verse>
				<verse number="22">සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔවුන්ගේ හඬට සවන් දී, ඔවුන්ට රජෙකු පත් කරන්නැ”යි සාමුවෙල්ට වදාළ සේක. සාමුවෙල් ද ඉශ්රායෙල් සෙනඟගේ සියලු දෙනාට කතා කොට, “තම තමන්ගේ නිවාසවලට යන්නැ”යි කීවේ ය.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයත් කිෂ් නම් මිනිසෙක් සිටියේ ය. ඔහු වූ කලී මහා ධනවතෙකි. ඔහු අබියෙල්ගේ පුත්‍රයා ය; ශෙරොර්ගේ මුණුබුරා ය; අපියාගේ වංශයට අයත් බෙකෝරත්ගේ පවුලේ කෙනෙකි.</verse>
				<verse number="2">ඔහුට සාවුල් නම් කඩවසම් පෙනුමක් ඇති තරුණ පුත්‍රයෙක් සිටියේ ය. ඔහුට වඩා පෙනුමක් ඇති කෙනෙක් ඉශ්රායෙල්වරුන් අතර සිටියේ නැත. ඔහු අන් හැමට වඩා උස කෙනෙක් විය.</verse>
				<verse number="3">දිනක් සාවුල්ගේ පිය වූ කිෂ්ගේ කොටළුවෝ නැති වුණෝ ය. කිෂ් තම පුත් සාවුල්ට කතා කොට, “ඔබ වැඩකාරයන්ගෙන් එක් කෙනෙකු අඬගසා ගෙන පිටත් ව ගොස් කොටළුවන් සොයන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="4">ඔහු එප්‍රායිම් කඳුකරයෙහි සිට ෂාලීෂා රට දක්වා ඇවිද්ද නමුත්, කොටළුවන් සම්බ වුණේ නැත. ඔවුන් ෂාලීම් රටේත් ඇවිද්ද නමුත්, කොටළුවන් එහි ද නො වූ බැවින්, ඔව්හු බෙන්ජමින්ගේ රටෙහි ද ඇවිද්දෝ ය. එහෙත්, ඔවුන්ට උන් සම්බ වුණේ නැත.</verse>
				<verse number="5">ඔව්හු ශුප් රටට පැමිණි කල, සාවුල් තමා සමඟ සිටි සිය වැඩකාරයාට කතා කොට, “අපි ආපසු හැරී යමු; නැත්නම්, මාගේ පියා කොටළුවන් ගැන කල්පනාව අත්හැර අප ගැන ශෝක වනු ඇතැ”යි කීවේ ය.</verse>
				<verse number="6">සේවකයා ඔහුට පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් මේ නගරයේ සිටියි; ඔහු ගරු කටයුතු කෙනෙකි; ඔහු කියන සියල්ල නොවරදවා ඉෂ්ට වන්නේ ය. අපි ඔහු වෙත යමු; සමහර විට, අප යා යුත්තේ කොහේ දැ යි ඔහු අපට දන්වනු ඇතැ”යි කීවේ ය.</verse>
				<verse number="7">එවිට සාවුල් වැඩකාරයාට කතා කොට, “අපි යන්නෙමු නම්, ඒ මිනිසාට කුමක් ගෙන යමු ද? අපේ භාජනවල තිබුණු කෑම දැන් ඉවර ය; දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයාට ගෙන යන්නට කිසි තෑග්ගක් නැත. අප ළඟ කුමක් තිබේ දැ”යි ඇසුවේ ය.</verse>
				<verse number="8">වැඩකාරයා යළිත් සාවුල්ට පිළිතුරු දෙමින්, “මා අතේ කුඩා රිදී කාසියක් තිබේ. අප යා යුතු මාර්ගය දන්වන පිණිස එය දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයාට දෙන්නෙමි”යි කීවේ ය.</verse>
				<verse number="9">පෙර කාලයේ දී ඉශ්රායෙල්හි මිනිසෙක් දෙවියන් වහන්සේගෙන් යම් කරුණක් විමසන්නට යන විට, “දිවැස් ඇත්තා ළඟට යමි”යි කියන්නේ ය. දැන් දිවැසිවරයා යයි කියන තැනැත්තා පෙර කාලයේ දී අනාගතවක්තෘ යයි කියනු ලැබී ය. එවිට සාවුල් කතා කොට, “ඔබේ යෝජනාව හොඳයි; එන්න, අපි යමු”යි තම වැඩකාරයාට කීවේ ය. මෙසේ ඔව්හු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා සිටි නුවරට ගියෝ ය.</verse>
				<verse number="10">***</verse>
				<verse number="11">ඔව්හු කන්ද නඟිමින් නුවරට යන කල, වතුර අදින පිණිස නුවරින් පිටතට එන තරුණියන් ඔවුන්ට සම්බ වී, “අනාගතවක්තෘ මෙහි ඉන්නවා දැ”යි ඔවුන්ගෙන් විමසුවෝ ය.</verse>
				<verse number="12">ඔව්හු උත්තර දෙමින්, “ඔව්, ඔහු ඉන්නවා; බලන්න, ඔහු ඔබ ඉදිරියෙහි ය. ඉක්මන් කරන්න, මන්ද, කඳු මත පූජාස්ථානයෙහි අද සෙනඟ පූජාවක් පවත්වන බැවින් ඔහු අද නුවරට අවුත් සිටියි.</verse>
				<verse number="13">ඔබ නුවරට ඇතුළු වූ වහා ම කෑම කන පිණිස කඳු මත පූජාස්ථානයට ඇතුළු වීමට මත්තෙන් ඔහු සම්බ වනු ඇත. මන්ද, ඔහු පූජාවට ආශීර්වාද කරන බැවින් ඔහු එන තුරු සෙනඟ කන්නේ නැත. කැඳවන ලද්දන් කෑම කන්නේ ඉන්පසු ය. ඒ නිසා යන්න; මේ වේලාවට ඔහු ඔබට සම්බ වනු ඇතැ”යි කීවෝ ය.</verse>
				<verse number="14">ඔවුන් නුවරට ගොස්, නුවර ඇතුළට පිවිසෙද්දී සාමුවෙල් කඳු මත පූජාස්ථානයට යන පිණිස ඔවුන් දෙසට පිටත් වී ආවේ ය.</verse>
				<verse number="15">සාවුල් පැමිණෙන්නට දවසකට පෙර, සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට,</verse>
				<verse number="16">“මම හෙට මේ වේලාවට පමණ බෙන්ජමින්ගේ රටෙන් මිනිසෙකු නුඹ ළඟට එවන්නෙමි; ඔහු මාගේ සෙනඟ වන ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා කොට අභිෂේක කරන්න; ඔහු පිලිස්තිවරුන්ගේ අතින් මාගේ සෙනඟ ගළවන්නේ ය. මාගේ සෙනඟගේ මොරගැසීම මා වෙත පැමිණි හෙයින් මම ඔවුන් දෙස බැලුවෙමි”යි දන්වා තිබුණේ ය.</verse>
				<verse number="17">සාමුවෙල්, සාවුල් දුටු විට, සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, “මෙන්න, මා නුඹට කී මිනිසා! මොහු මාගේ සෙනඟ පාලනය කරන්නේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="18">එවිට සාවුල් දොරටුව ළඟ සාමුවෙල් වෙත ගොස්, “අනාවැකි කියන්නාගේ ගෙය තිබෙන්නේ කොතැන ද කියා මට දන්වන්නැ”යි කී ය.</verse>
				<verse number="19">සාමුවෙල් ද සාවුල්ට පිළිතුරු දෙමින්, “අනාවැකි කියන්නා මම ය; මට පෙරටුව කඳු මත පූජාස්ථානයට ඔබ දෙපළ ම යන්න. මන්ද, ඔබ ද මා සමඟ ආහාර වැළඳිය යුතු ය. හෙට උදේ ඔබ යන්නට අරින්නෙමි; ඔබේ සිතේ තිබෙන සියල්ල ද ඔබට දන්වන්නෙමි.</verse>
				<verse number="20">තුන් දවසකට පෙර නැති වූ ඔබේ කොටළුවන් ගැන කරදර නොවන්න. උන් සම්බ වී ඇත. ඉශ්රායෙල් ජනයා අතිශයෙන් අපේක්ෂා කරන්නේ කවරෙක් ද? ඔබ උදෙසාත්, ඔබේ පියාගේ මුළු පවුල උදෙසාත් නොවේ දැ”යි කීවේ ය.</verse>
				<verse number="21">සාවුල් පිළිතුරු දෙමින්, “මම ඉශ්රායෙල් ගෝත්‍රවලින් ඉතා කුඩා එකක් ව තිබෙන බෙන්ජමින් ගෝත්‍රයට අයත් කෙනෙක් නොවෙම් ද? බෙන්ජමින්ගේ සියලු පවුල්වලින් මාගේ පවුල ඉතා සුළු එක නොවේ ද? එසේ නම්, ඔබ මෙලෙස මට කතා කරන්නේ මන්දැ”යි ඇසුවේ ය.</verse>
				<verse number="22">එවිට සාමුවෙල්, සාවුල් සහ ඔහුගේ වැඩකාරයා කැඳවාගෙන, කෑම ශාලාවට ඇතුළු වී, ගණනින් තිහක් පමණ වූ ආරාධිතයන් අතරේ ප්‍රධාන ස්ථානයෙහි ඔවුන්ට අසුන් දුන්නේ ය.</verse>
				<verse number="23">සාමුවෙල් අරක්කැමියාට කතා කොට, “මම ඔබට ‘වෙන් කර තබන්නැ’යි දුන් කොටස මෙහි ගෙනෙන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="24">අරක්කැමියා ගාතය ද ඒ පිට තිබුණු දේ ද ගෙනවුත් සාවුල් ඉදිරිපිට තැබුවේ ය. සාමුවෙල් කතා කොට, “මෙන්න, ඔබ උදෙසා තැබූ කොටස. එය වළඳන්න. මා ආරාධනා කළ සෙනඟ සමඟ එය මේ මොහොතේ දී වළඳන පිණිස ඔබ උදෙසා මම එය වෙන් කොට තැබුවෙමි”යි කීවේ ය. මෙසේ සාවුල් එදා සාමුවෙල් සමඟ ආහාර වැළඳුවේ ය.</verse>
				<verse number="25">ඔවුන් කඳු මත පූජාස්ථානයෙන් බැස නගරයට ආ කල, ඔව්හු පියස්ස උඩ සාවුල්ට යහනක් සකස් කර දුන්නෝ ය. සාවුල් එහි නිදාගත්තේ ය.</verse>
				<verse number="26">පහන් වන වේලාවේ දී සාමුවෙල් පියස්ස උඩ සිටි සාවුල්ට අඬගසා, “නැඟිටින්න, මම ඔබ පිටත් කර යවමි”යි කීවේ ය. සාවුල් නැඟිට්ටේ ය. ඔහු සහ සාමුවෙල් එකට වීදියට ගියේ ය.</verse>
				<verse number="27">ඔවුන් නුවර සීමාවට පැමිණි විට සාමුවෙල් සාවුල්ට කතා කොට, “අපට පෙරටුව ඔබේ වැඩකාරයාට යන්න කියන්න. මා ඔබට දෙවියන් වහන්සේගේ වචනය දන්වන පිණිස දැන් මෙහි මොහොතක් නවතින්නැ”යි කීවේ ය. වැඩකාරයා පෙරටුවෙන් ගියේ ය.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන සාවුල්ගේ හිසේ වත් කොට, ඔහු සිඹ මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් සෙනඟ කෙරෙහි අධිපතියා කොට ඔබ අභිෂේක කරන සේක. ඔබ සෙනඟ පාලනය කොට ඔවුන් සියලු සතුරන්ගෙන් ගළවාගන්නෙහි ය. සමිඳාණන් වහන්සේ තමන් තෝරා ගත් සෙනඟගේ අධිපතියා වශයෙන් ඔබ පත් කළ බවට සාක්ෂිය මෙය වන්නේ ය:</verse>
				<verse number="2">ඔබ අද මා ළඟින් පිටත් ව යන විට, බෙන්ජමින්ගේ දේශ සීමාවේ ශෙල්ශාහි තිබෙන රාකෙල්ගේ සොහොන් පළ ළඟ දී මිනිසුන් දෙදෙනෙක් ඔබට සම්බවන්නෝ ය. ඔවුන් ඔබට කතා කොට, ඔබ සොයන්නට ගිය කොටළුවන් සම්බ වූ බවත්, ඔබේ පියා කොටළුවන් ගැන නොව ඔබ ගැන කරදර වන බවත්, ‘මාගේ පුත්‍රයා ගැන මම කුමක් කරම් දැ’යි කිය කියා සිටින බවත් ඔබට කියනු ඇත.</verse>
				<verse number="3">එවිට ඔබ එතැනින් තව දුර ගොස් තාබොර්හි ආලෝන ගස ළඟට පැමිණෙන්නෙහි ය. එතැන දී දෙවියන් වහන්සේට පූජා කරන පිණිස බෙතෙල්ට යන මිනිසුන් තිදෙනෙක් ඔබට සම්බවන්නෝ ය. ඔවුන්ගෙන් එක් කෙනෙක් එළුපැටියන් තුන් දෙනෙකු ද එක් කෙනෙක් රොටි තුනක් ද එක් කෙනෙක් මුද්‍රිකපාන භාජනයක් ද රැගෙන යන්නෝ ය.</verse>
				<verse number="4">ඔවුන් ඔබට ආචාර කොට රොටි දෙකක් ඔබට දෙනවා ඇත. ඒවා ඔවුන් අතින් පිළිගන්න.</verse>
				<verse number="5">ඉන්පසු ඔබ පිලිස්තිවරුන්ගේ මුර හමුදාව සිටින ගිබියාහි ඇති දෙවියන් වහන්සේගේ කන්දට පැමිණෙන්නෙහි ය. ඔබ එහි නුවරට ඇතුළු වන විට දිවැසිවරු කණ්ඩායමක් තමන්ට පෙරටුව වීණාවක් ද රබානක් ද නළාවක් ද කුඩා වීණාවක් ද ඇති ව ධර්ම වාක්‍ය පවසමින්, නටමින් ද ඝෝෂා කරමින් ද ගිරිකුළුවලින් බැස එනු ඔබට සම්බවන්නේ ය.</verse>
				<verse number="6">එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ඔබ කෙරෙහි බලවත් ලෙස ආරුඪ වනු ඇත. ඔබ ද ඔවුන් සමඟ ධර්ම වාක්‍ය පවසන්නෙහි ය. ඔබ අමුතු ම මිනිසෙක් වන්නෙහි ය.</verse>
				<verse number="7">මේ ලකුණු ඔබට පැමිණි කල ප්‍රස්තාවෝචිත ව ක්‍රියා කරන්න. මන්ද, දෙවියන් වහන්සේ ඔබ සමඟ සිටින සේක.</verse>
				<verse number="8">ඔබ මට පෙරටුව ගිල්ගාල්ට යන්න. මම දවන යාග පූජා ඔප්පු කරන පිණිසත්, ශාන්ති පූජාවල යාගයන් පූජා කරන පිණිසත් ඔබ ළඟට එන්නෙමි. මා ඔබ ළඟට අවුත්, ඔබ කළ යුතු දේ ඔබට දන්වන තුරු සත් දවසක් බලා සිටින්න.”</verse>
				<verse number="9">මෙසේ කී පසු සාවුල්, සාමුවෙල් වෙතින් යන්නට හැරුණ විට දෙවියන් වහන්සේ ඔහුට අමුතු සිතක් දුන් සේක. සාමුවෙල් කී සියලු දේ ඒ දවසේ දී ම සිදු විය.</verse>
				<verse number="10">සාවුල් සහ ඔහුගේ සේවකයා හෙල ළඟට පැමිණි කල, දිවැසිවර කණ්ඩායමක් සාවුල්ට හමු විය. දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ඔහුට ආරූඪ විය. එවිට ඔහු, ඔවුන් සමඟ ධර්ම වාක්‍ය පැවසුවේ ය.</verse>
				<verse number="11">කලින් සාවුල් හැඳින සිටි හැම දෙනා ම, ඔහු දිවැසිවරුන් සමඟ ධර්ම වාක්‍ය පවසනවා දුටු කල, ඔවුනොවුන් අතරේ කතා කරමින්, “කිෂ්ගේ පුත්‍රයාට කුමක් වී ඇද් ද? සාවුලුත් දිවැසිවරයෙකු වී සිටී දැ”යි කී හ.</verse>
				<verse number="12">එතැන සිටි කෙනෙක් පිළිතුරු දෙමින්, “මේ මිනිසුන්ගේ පියවරුත් දිවැසිවරු දැ”යි ඇසුවේ ය. “සාවුලුත් දිවැසිවරුන් අතරේ සිටී දැ”යි යන කීම ඇති වූයේ මෙලෙස ය.</verse>
				<verse number="13">ඔහු ධර්ම වාක්‍ය පවසා නිම වූ කල කඳු මත පූජාස්ථානයට ගියේ ය.</verse>
				<verse number="14">සාවුල්ගේ බාප්පා කතා කොට, “ඔබ කොතැනට ගියහු දැ”යි සාවුල්ගෙන් ද වැඩකාරයාගෙන් ද ඇසුවේ ය. “අපි කොටළුවන් සොයන්නට ගියෙමු. උන් නැති බව දුටු විට අපි සාමුවෙල් ළඟට ගියෙමු”යි සාවුල් පිළිතුරු දුන්නේ ය.</verse>
				<verse number="15">“සාමුවෙල් ඔබට කුමක් කීවේ ද කියා මට කියන්නැ”යි සාවුල්ගේ බාප්පා කී ය.</verse>
				<verse number="16">සාවුල් පිළිතුරු දෙමින්, “කොටළුවන් සම්බ වූ බව ඔහු පැහැදිලි ලෙස දැන්නුවේ ය”යි තම බාප්පාට කීවේ ය. එහෙත්, රජකම ගැන සාමුවෙල් කී කාරණය ඔහුට දැන්නුවේ නැත.</verse>
				<verse number="17">සාමුවෙල් සමිඳාණන් වහන්සේ වෙත මිශ්පා නගරයට සෙනඟ රැස් කරවී ය.</verse>
				<verse number="18">ඔහු ඉශ්රායෙල් සෙනඟ අමතා මෙසේ කීවේ ය: “ඉශ්රයෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම ඉශ්රායෙල් සෙනඟ වන නුඹලා මිසරයෙන් ගෙනවුත් මිසරවරුන්ගේ අතින් ද නුඹලාට පීඩා කළ සියලු රාජ්‍යයන්ගේ බලයෙන් ද නුඹලා ගළවාගතිමි.</verse>
				<verse number="19">එහෙත්, නුඹලාගේ සියලු විපත්තිවලින් ද පීඩාවලින් ද නුඹලා ගැළෙවු නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා නුඹලා අද එපා කර, නුඹලාට රජ කෙනෙකු පත් කරන ලෙස මාගෙන් ඉල්ලන්නහු ය. එබැවින් දැන් නුඹලා ගෝත්‍ර වශයෙන් ද පවුල් වශයෙන් ද ස්වාමීන් වන මා ඉදිරියේ රැස් වන්න.’ “</verse>
				<verse number="20">මෙසේ සාමුවෙල් මුළු ඉශ්රායෙල් ජනතාව එක එක ගෝත්‍රය වශයෙන් ඉදිරිපත් කෙළේ ය. සමිඳාණන් වහන්සේ බෙන්ජමින්ගේ ගෝත්‍රය තෝරාගත් සේක.</verse>
				<verse number="21">ඉන්පසු සාමුවෙල් බෙන්ජමින්ගේ ගෝත්‍රයේ අය පවුල් වශයෙන් ඉදිරිපත් කෙළේ ය. ඒවායින් මට්රීගේ පවුල තෝරාගන්නා ලද්දේ ය. ඒ පවුලෙන් කිෂ්ගේ පුත් සාවුල් තෝරාගන්න ලද්දේ ය. එහෙත්, ඔවුන් සාවුල් කොහේ දැ යි සෙවූ නමුත්, ඔහු සොයාගත නොහැකි විය.</verse>
				<verse number="22">එබැවින් ඔව්හු, “ඒ මිනිසා මෙහි ඇවිත් සිටී දැ”යි යළිත් සමිඳාණන් වහන්සේගෙන් ඇසුවෝ ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔහු භාණ්ඩ අතරේ සැඟවී සිටී”යි වදාළ සේක.</verse>
				<verse number="23">ඔව්හු දුව ගොස් සාවුල් එතැනින් ගෙනාවෝ ය. ඔහු සෙනඟ අතරේ සිටි කල, අන් හැමට වඩා උස කෙනෙක් විය.</verse>
				<verse number="24">සාමුවෙල් මුළු සෙනඟට කතා කොට, “මෙන්න, සමිඳාණන් වහන්සේ තෝරාගත් තැනැත්තා, ඔහුට සමාන අන් කිසිවෙකු සෙනඟ අතරේ නැති බව ඔබට නොපෙනේ දැ”යි කී ය. එවිට සියලු ජනයා, “මහ රජතුමා සැරදේ වා!” කියා මොරගැසූ හ.</verse>
				<verse number="25">සාමුවෙල් රජකමේ යුතුකම් සෙනඟට විස්තර කර දී, ඒවා පොතක සටහන් කර සමිඳාණන් වහන්සේ ඉදිරියේ තැබුවේ ය. ඉන්පසු සාමුවෙල් සෙනඟ විසුරුවා හැර ඔවුන් සිය ගෙවලට පිටත් කර යැවුවේ ය.</verse>
				<verse number="26">සාවුල් ද ගිබියාහි තිබූ සිය ගෙදරට ගියේ ය. දෙවියන් වහන්සේ විසින් සිත් ප්‍රබෝධ කරන ලද සේනාවක් ද ඔහු සමඟ ගියෝ ය.</verse>
				<verse number="27">එහෙත්, සමහර දුර්ජනයන් කතා කොට, “මේ මිනිහා අප ගළවන්නේ කොහොම දැ”යි සාවුල් සුළු කොට සිතා ඔහුට කිසි තෑග්ගක් ගෙනාවේ නැත.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">මසකට පමණ පසු අම්මොනිවරයෙකු වූ නාහාෂ් රජ ගිලියද් පෙදෙසෙහි තිබූ ජාබෙෂ් නගරයට විරුද්ධ ව පැමිණ එය වටලෑවේ ය. ජාබෙෂ්හි මනුෂ්‍යයෝ කතා කොට, “අප සමඟ ගිවිසුමක් කළ මැනව, එවිට අපි ඔබට යටත් වන්නෙමු”යි නාහාෂ්ට කීවෝ ය.</verse>
				<verse number="2">අම්මොනිය නාහාෂ් ද පිළිතුරු දෙමින්, “ඔබ සියල්ලන්ගේ දකුණු ඇස් උගුලා දමා, එයින් ඉශ්රායෙල්වරුන් පිට නින්දාවක් පමුණුවන්නට මට ඉඩ දුන්නොත් පමණක් ඔබ සමඟ ගිවිසුමක් කරගන්නෙමි”යි ඔවුන්ට කීවේ ය.</verse>
				<verse number="3">ජාබෙෂ්හි ප්‍රජා මූලිකයෝ පිළිතුරු දෙමින්, “අප ඉශ්රායෙල්හි සියලු පළාත්වලට පණිවුඩකාරයන් යවන පිණිස අපට සත් දවසක් කල් දුන මැනව; අපට පිහිට වන්නට කිසිවෙක් නැත්නම්, අපි ඔබට යටත් වන්නෙමු”යි කීවෝ ය.</verse>
				<verse number="4">එකල පණිවුඩකාරයෝ සාවුල් සිටි ගිබියාට පැමිණ ඒ කාරණය සෙනඟ ඉදිරියෙහි ප්‍රකාශ කළෝ ය. ඒ ඇසූ මුළු සෙනඟ ශබ්ද නඟා හැඬූ හ.</verse>
				<verse number="5">ඒ අවස්ථාවේ දී සාවුල් කෙතේ සිට හරකුන් දක්කාගෙන එමින් සිටියේ ය. “සෙනඟ අඬන්නේ කුමන කාරණයක් නිසා දැ”යි ඔහු විමසුවේ ය. ඔව්හු ජාබෙෂ් සිට පැමිණි පණිවුඩකාරයන් කී දේ ඔහුට දැන්වූවෝ ය.</verse>
				<verse number="6">සාවුල් මේ වචන ඇසූ විට දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු කෙරෙහි පිහිටිණි. ඔහු අතිශයෙන් කෝපාවිෂ්ට වුණේ ය.</verse>
				<verse number="7">එවිට ඔහු ගොන් බානක් ගෙන උන් කැබලිවලට කපා, “සාවුල් ද සාමුවෙල් ද කැටුව යුද්ධයට යමෙක් නොයනු ඇද්ද ඔහුගේ හරකුන්ට මෙසේ ම කරනු ලැබේ ය” කියා ඒ කැබලි පණිවුඩකාරයන් අත ඉශ්රායෙල්වරුන්ගේ සියලු පළාත්වලට යැවී ය. එවිට සෙනඟ පිට සමිඳාණන් වහන්සේ කෙරෙහි භීතියක් පහළ වී ඔව්හු සියලු දෙනා එක් කෙනෙකු මෙන් පිටත් ව ආවෝ ය.</verse>
				<verse number="8">සාවුල් ඔවුන් බෙශෙක් නගරයෙහි එක්රැස් කෙළේ ය. ඉශ්රායෙල්වරු තුන් ලක්ෂයක් ද ජුදාවරු තිස් දහසක් ද එහි සිටියෝ ය.</verse>
				<verse number="9">ඔව්හු පණිවුඩකාරයන්ට කතා කොට, “ ‘හෙට මද්දහනට පෙර ගිලියද්හි ජාබෙෂ් නගරය මුදනු ලබනු ඇතැ’යි ජාබෙෂ්-ගිලියද් මනුෂ්‍යයන්ට කියන්නැ”යි කීවෝ ය. පණිවුඩකාරයෝ ගොස් ජාබෙෂ්හි සෙනඟට එපවත් දැන්නුවෝ ය; ඔව්හු ද ප්‍රීතියෙන් පිනා ගියෝ ය.</verse>
				<verse number="10">එබැවින් ජාබෙෂ්හි සෙනඟ, “හෙට අපි ඔබට යටත් වන්නෙමු, එවිට ඔබ කැමැති ඕනෑ ම දෙයක් අපට කරන්නට පුළුවනැ”යි නාහාෂ්ට කීවෝ ය.</verse>
				<verse number="11">පසු දා සාවුල් සෙනඟ කණ්ඩායම් තුනකට බෙදුවේ ය; ඔව්හු එළි වන යාමයෙහි අම්මොනිවරුන්ගේ කඳවුර මැදට කඩා පැන ඉර මුදුන් වේලාව දක්වා ඔවුන්ට පහර දුන්නෝ ය. දෙදෙනෙකු එක තැනක නොසිටින ලෙස ඉතිරි වූ අය විසුරුවනු ලැබූ හ.</verse>
				<verse number="12">එවිට සෙනඟ සාමුවෙල්ට කතා කොට, “සාවුල් අපේ රජු නොවිය යුතුය යි කී සෙනඟ කවුරු ද? ඒ අය අපට භාර දෙන්න; අපි ඔවුන් මරන්නෙමු”යි කීවෝ ය.</verse>
				<verse number="13">එවිට සාවුල් සෙනඟ අමතා, “අද දවසේ දී සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ගළවාගත් නිසා කිසිවෙකු මේ දවසේ දී මරණයට පත් නොකළ යුතු ය”යි කීවේ ය.</verse>
				<verse number="14">එවිට සාමුවෙල් සෙනඟට කතා කොට, “එන්න, අපි ගිල්ගාල්ට ගොස් එහි දී සාවුල් රජකමෙහි නැවත ස්ථිර කරමු’යි කීවේ ය.</verse>
				<verse number="15">සෙනඟ සියලු දෙනා ගිල්ගාල්ට ගොස් එහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සාවුල් රාජ පදවියේ පිහිටුවා උන් වහන්සේට සහභාගිකමේ පූජා ඔප්පු කළෝ ය. සාවුල් ද ඉශ්රායෙල් සෙනඟ ද අතිශයෙන් ප්‍රීති ප්‍රමෝද වූ හ.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">සාමුවෙල් මුළු ඉශ්රායෙල් සෙනඟට මෙසේ කීවේ ය; “මෙන්න, ඔබ හැම මාගෙන් ඉල්ලූ සියලු දේට මම සවන් දී ඔබ කෙරෙහි රජෙකු පත් කෙළෙමි.</verse>
				<verse number="2">දැන් ඒ රජතුමා ඔබ හැමගේ නායකයා ය. මම නම් මහලු ය, මාගේ හිසකෙස් පැහී තිබේ. මාගේ පුත්‍රයෝත් ඔබ සමඟ සිටිති. මම බාල වියෙහි පටන් අද දක්වා ඔබේ නායකයා වී සිටියෙමි.</verse>
				<verse number="3">මෙන්න, මම මෙහි සිටිමි. මා යම් වරදක් කර තිබේ නම්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ද උන් වහන්සේ තෝරාගත් රජ්ජුරුවන් ඉදිරියෙහි ද දැන් මට විරුද්ධ ව පැමිණිලි කරන්න. මම කවරෙකුගේ හරකා ගතිම් ද? කවරෙකුගේ කොටළුවා ගතිම් ද? කවරෙකුට අයුත්තක් කෙළෙම් ද? කවරෙකුට පීඩා කෙළෙම් ද? කවරෙකුගෙන් අල්ලසක් ගතිම් ද? මේවා ගැන මම වරදකාරයෙක් නම්, මා ගත් දේ ආපසු දෙන්නෙමි.”</verse>
				<verse number="4">සෙනඟ පිළිතුරු දෙමින්, “ඔබ අපට අයුක්තියක් කෙළේ වත්, පීඩා කෙළේ වත්, කිසිවෙකුගේ අතින් කිසිවක් ගත්තේ වත් නැතැ”යි කීවෝ ය.</verse>
				<verse number="5">සාමුවෙල් පිළිතුරු දෙමින්, “ඔබ හැම මා අත වරදක් නැති බවට සමිඳාණන් වහන්සේ ද උන් වහන්සේ තෝරාගත් රජතුමා ද ඉදිරියෙහි අද දවසේ සාක්ෂිකාරයන් ව සිටින්නහු ය”යි කීවේ ය. ඔව්හු පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ අපේ සාක්ෂිකාරයාණෝ ය”යි කී හ.</verse>
				<verse number="6">සාමුවෙල් තවදුරටත් සෙනඟට කතා කරමින් මෙසේ කීවේ ය: “මෝසෙස් සහ ආරොන් තෝරාගත්තේත්, මිසරයෙන් ඔබේ පියවරුන් ගෙනාවේත් සමිඳාණන් වහන්සේ ය.</verse>
				<verse number="7">එබැවින් ඔබටත්, ඔබේ පියවරුන්ටත් සමිඳාණන් වහන්සේ කළ සියලු බලවත් ක්‍රියා ගැන මා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබට මතක් කර දෙන පිණිස නිශ්චල ව සිටින්න.</verse>
				<verse number="8">ජාකොබ් මිසරයට පැමිණි පසු ඔබේ පියවරුන් සමිඳාණන් වහන්සේට මොරගැසූ විට, සමිඳාණන් වහන්සේ මෝසෙස් ද ආරොන් ද යවා ඔබේ පියවරුන් මිසරයෙන් ගෙන්වා මේ දේශයෙහි වාසය කෙරෙව් සේක.</verse>
				<verse number="9">එහෙත්, ඔව්හු තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අමතක කළෝ ය. එවිට උන් වහන්සේ හාශොර්හි සේනාධිපතියා වූ සිසෙරා අතටත්, පිලිස්තිවරුන් අතටත්, මෝවබ්හි රජු අතටත් ඔවුන් පාවා දුන් සේක. ඔව්හු ද ඔවුන්ට විරුද්ධ ව යුද්ධ කළෝ ය.</verse>
				<verse number="10">එවිට ඔව්හු සමිඳාණන් වහන්සේට මොරගසමින්, ‘අපි සමිඳාණන් වහන්සේ අත් හැර බාල් දේවතාවන්ටත්, අෂ්ටාරොත් දේවතාවියටත් වැඳුම්පිදුම් කිරීමෙන් පව් කෙළෙමු. එහෙත්, අපේ සතුරන් අතින් අප ගැළෙවුව මැනව. අපි ඔබ වහන්සේට වැඳුම්පිදුම් කරන්නෙමු’යි කීවෝ ය.</verse>
				<verse number="11">එවිට සමිඳාණන් වහන්සේ ජෙරුබ්බාල් ද බාරාක් ද ජෙප්තා ද සාමුවෙල් ද එවා වටකර සිටි ඔබේ සතුරන්ගේ අතින් ඔබ ගැළෙවු සේක. එවිට ඔබ සුරක්ෂිත ව වාසය කළහු ය.</verse>
				<verse number="12">එහෙත්, අම්මොන්වරුන්ගේ රජ වූ නාහාෂ් ඔබට විරුද්ධ ව එන බව ඔබ දුටු කල ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ රජ ව සිටි නමුත්, ඔබ කතා කරමින්, ‘එසේ නොවේ, අප කෙරෙහි රජ කරන පිණිස අපට රජ කෙනෙක් ඕනෑ ය’යි කීවහු ය.</verse>
				<verse number="13">“මෙන්න, ඔබ තෝරාගත්, ඔබ ඉල්ලූ රජතුමා දෙස බලන්න. සමිඳාණන් වහන්සේ ඔබ කෙරෙහි රජ කෙනෙකු පත් කළ සේක.</verse>
				<verse number="14">ඔබ සමිඳාණන් වහන්සේගේ අණට විරුද්ධ ව කැරලි නොගසා, උන් වහන්සේට බිය ව වැඳුම්පිදුම් කොට, උන් වහන්සේගේ හඬට කීකරු ව සිටින්නහු නම්, ඔබ කෙරෙහි රජකම් කරන රජුත්, ඔබ හැමත් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අනුව යන්නහු නම්, ඔබට ශුභසිද්ධ වේ.</verse>
				<verse number="15">එහෙත්, ඔබ හැම සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවී, උන් වහන්සේගේ අණට විරුද්ධ ව කැරලි ගසන්නහු නම්, උන් වහන්සේ ඔබේ රජතුමාටත්, ඔබටත් විරුද්ධ ව සිටින සේක.</verse>
				<verse number="16">එබැවින් නිශ්චල ව සිට සමිඳාණන් වහන්සේ ඔබේ ඇස් හමුයෙහි කරන්නට යන මේ මහත් දේ බලන්න.</verse>
				<verse number="17">දැන් තිරිඟු කපන කාලය නොවේ ද? එහෙත්, අහස් ගර්ජනාවක් ද වර්ෂාව ද එවන ලෙස මම සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්නෙමි. ඒ ඉටු වූ කල රජෙකු ඉල්ලීමෙන් ඔබ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කළ දුෂ්ටකම ඔබ තේරුම් ගන්නවා ඇත.”</verse>
				<verse number="18">මෙසේ කී පසු සාමුවෙල් සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. එදින සමිඳාණන් වහන්සේ අහස් ගර්ජනාව ද වර්ෂාව ද එවූ සේක. එවිට මුළු සෙනඟ සමිඳාණන් වහන්සේටත්, සාමුවෙල්ටත්, අතිශයෙන් බිය වූ හ.</verse>
				<verse number="19">ඔව්හු සාමුවෙල් අමතා, “අප නොනසින පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබේ මෙහෙකරුවන් උදෙසා යාච්ඤා කළ මැනව; මන්ද, රජෙකු ඉල්ලීමේ වරද අපේ අනික් සියලු පාපවලට අප එකතු කර ඇතැ”යි කී හ.</verse>
				<verse number="20">එවිට සාමුවෙල් ඔවුන්ට මෙසේ කීවේ ය: “බිය නොවන්න. ඔබ හැම ඇත්තෙන් ම මේ සියලු වැරදි කළහු ය. එහෙත්, සමිඳාණන් වහන්සේ අනුව යාම අත් නොහැර ඔබේ මුළු සිතින් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න.</verse>
				<verse number="21">බොරු දෙවිවරුන් අනුව නොයන්න. ඔවුන් බොරු දෙවිවරුන් වන බැවින්, ඔබට පිහිටවන්නට වත්, ඔබ ගළවන්නට වත් ඔවුන්ට නොහැකි ය.</verse>
				<verse number="22">සමිඳාණන් වහන්සේ ඔබ තමන් වහන්සේගේ ම සෙනඟ කරගන්නට ප්‍රසන්න ව සිටින බැවින්, තමන්ගේ උදාර නාමය නිසා තමන්ගේ ම සෙනඟ අත් නොහරින සේක.</verse>
				<verse number="23">ඇරත් මා ඔබ උදෙසා යාච්ඤා නොකර සිටීමේ පාපයෙන් සමිඳාණන් වහන්සේ මා වළක්වන සේක් වා, තවද, මම යහ මඟ ඔබට උගන්වන්නෙමි.</verse>
				<verse number="24">සමිඳාණන් වහන්සේට ගරුබිය ඇතිව, ඔබේ මුළු සිතින් උන් වහන්සේට සැබෑ ලෙස වැඳුම්පිදුම් කරන්න. සමිඳාණන් වහන්සේ ඔබ උදෙසා කොපමණ මහත් දේ කර ඇත් දැ යි සිහි කරන්න.</verse>
				<verse number="25">එහෙත්, ඔබ තවදුරටත් නපුරුකම් කරන්නහු නම්, ඔබ ද ඔබේ රජු ද විනාශ වනු ඇත.”</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">සාවුල් රජකමට පැමිණි විට වයස අවුරුදු තිහක් පමණ විය. ඔහු ඉශ්රායෙල්වරුන් කෙරෙහි දෑවුරුද්දක් රජකම් කෙළේ ය.</verse>
				<verse number="2">සාවුල් ඉශ්රායෙල්වරුන්ගෙන් මිනිසුන් තුන්දාහක් තෝරාගත්තේ ය; ඔවුන්ගෙන් දෙදාහක් සාවුල් සමඟ මික්මාෂ්හි ද බෙතෙල් කඳුකරයේ ද සිටියෝ ය; දාහක් බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයත් පෙදෙස වන ගිබියාහි සිටි ජොනතන් සමඟ සිටියෝ ය. ඔහු සෙනඟගෙන් ඉතිරි අය එකිනෙකා තම තමාගේ කූඩාරමට යන්නට හැරියේ ය.</verse>
				<verse number="3">ජොනතන් ගෙබායෙහි සිටි පිලිස්තිවරුන්ගේ මුර හමුදාවට පහර දුන්නේ ය. එපවත් පිලිස්තිවරුන්ට ආරංචි විය. එවිට සාවුල් කතා කොට, හෙබ්‍රෙව්වරු අසත් වා”යි දේශය මුළුල්ලෙහි හොරණෑ පිඹින්නට සැලැස්සුවේ ය.</verse>
				<verse number="4">සාවුල් පිලිස්තිවරුන්ගේ මුර හමුදාවට පහර දුන් බවත්, පිලිස්තිවරුන් ඉශ්රායෙල්වරුන් පිළිකුල් කළ බවත් සියලු ඉශ්රායෙල්වරුන්ට සැළ විය. සෙනඟ ද ගිල්ගාල්හි සිටි සාවුල් වෙත රැස් වූවෝ ය.</verse>
				<verse number="5">පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන් සමඟ යුද්ධ කරන පිණිස රථ තිස්දහසක් ද අසරුවන් හයදහසක් ද මූදු වෙරළේ වැලි මෙන් ගණන් කළ නොහැකි විශාල සෙනඟක් ද ඇතිව රැස් වී අවුත්, බෙතාවෙන්ට නැගෙනහිරෙන් මික්මාෂ්හි කඳවුරු බැඳගත්තෝ ය.</verse>
				<verse number="6">එවිට ඉශ්රායෙල්වරු තමන් අනතුරට භාජන වී සිටි බව දුටුවෝ ය. ඔව්හු අවදානම් තත්ත්වයක සිටියෝ ය. එවිට සෙනඟ ගුහාවල ද වළවල ද පර්වතවල ද පතල්වල ද ළිංවල ද සැඟවුණෝ ය.</verse>
				<verse number="7">සමහරෙක් ගාද් දේශයටත්, ගිලියද් දේශයටත් ජොර්දානින් එගොඩ වී ගියෝ ය. එහෙත්, සාවුල් ඒ වන තුරු ගිල්ගාල්හි සිටියේ ය. සෙනඟ සියලු දෙන වෙවුලමින් ඔහු පසුපස ගියෝ ය.</verse>
				<verse number="8">සාමුවෙල් නියම කළ පරිදි ඔහු එන තුරු සාවුල් සත් දවසක් බලා සිටියේ ය. එහෙත්, සාමුවෙල් ගිල්ගාල්ට නොපැමිණියේ ය. සෙනඟ ද ඔහු වෙතින් විසිර ගියෝ ය.</verse>
				<verse number="9">එබැවින් සාවුල් ඔවුන් අමතා, “දවන යාග පූජාව හා සහභාගිකමේ පූජා මා ළඟට ගෙනෙන්නැ”යි කීවේ ය. සාවුල් දවන යාග පූජා ඔප්පු කෙළේ ය.</verse>
				<verse number="10">ඔහු දවන යාග පූජාව ඔප්පු කර නිම කළ හැටියේ ම සාමුවෙල් පැමිණියේ ය. සාවුල් ද ඔහුට ආචාර කරන පිණිස ඔහුගේ පෙරමඟට ගියේ ය.</verse>
				<verse number="11">සාමුවෙල් ඔහු අමතා, “ඔබ කුමක් කෙළෙහි දැ”යි ඇසී ය. සාවුල් පිළිතුරු දෙමින්, “සෙනඟ මා අත්හැර යන බව මම දිටිමි; ඔබ එනවා යයි කී දවසේ දී නොපැමිණියෙහි ය; පිලිස්තිවරුන් මික්මාෂ්හි රැස් ව සිටින බවත් මම දිටිමි.</verse>
				<verse number="12">ගිල්ගාල්හි දී පිලිස්තිවරුන් මට පහර දෙන්නට යන නමුත් දෙවියන් වහන්සේගේ හිත දිනාගැනීමට මා උත්සාහ නොකළා යයි මම සිතුවෙමි. ඒ නිසා පූජාව ඔප්පු කළ යුතු බව මට හැඟුණේ ය”යි කීවේ ය.</verse>
				<verse number="13">එවිට සාමුවෙල් සාවුල්ට මෙසේ කීයේ ය: “ඔබ අනුවණ ලෙස ක්‍රියා කෙළෙහි ය. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ උන් වහන්සේගේ ආඥා ඔබ රක්ෂා කෙළේ නැත. ඔබ ඒවා රක්ෂා කෙළෙහි නම්, සමිඳාණන් වහන්සේ ඔබේ පරම්පරාවට ඉශ්රායෙල් කෙරෙහි සදහට ම රජකම් කරන්නට සලස්වන සේක.</verse>
				<verse number="14">එහෙත්, දැන් ඔබේ රජකම පවතින්නේ නැත. සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ දේ ඔබ රක්ෂා නොකළ බැවින් උන් වහන්සේ තමන්ගේ සිතට එකඟ වන මිනිසෙකු තෝරාගෙන තමන්ගේ සෙනඟ කෙරෙහි ඔහු නායකයා වන පිණිස නියම කර ඇතැ”යි කීවේ ය.</verse>
				<verse number="15">සාමුවෙල් පිටත් වී ගිල්ගාලෙන් බෙන්ජමින්ගේ පෙදෙසේ ගිබියාට ගියේ ය. සාවුල් තමා සමඟ සිටි මිනිසුන් ගණන් කෙළේ ය. ඔව්හු හයසියයක් පමණ වූ හ.</verse>
				<verse number="16">සාවුල් ද ඔහු පුත් ජොනතන් ද ඔවුන් සමඟ සිටි සෙනඟ ද බෙන්ජමින්ගේ පෙදෙසේ ගෙබාහි නැවතී සිටියෝ ය. එහෙත්, පිලිස්තිවරු මික්මාෂ්හි කඳවුරු බැඳගත්තෝ ය.</verse>
				<verse number="17">පිලිස්තිවරුන්ගේ කඳවුරෙන් ආක්‍රමණිකයෝ කණ්ඩායම් තුනකට බෙදී නික්ම ආවෝ ය. එක කණ්ඩායමක් ෂුවාල් රටේ ඕප්‍රාට යන මාර්ගයෙන් ගියේ ය.</verse>
				<verse number="18">එක කණ්ඩායමක් බෙත්-හෙරොන්ට යන දිශාවට ගියේ ය. අනෙක් කණ්ඩායම පාළුකරයට සහ ශෙබොයිම් මිටියාවතට ඉහළින් තිබෙන දේශ සීමා දෙසට ගියේ ය.</verse>
				<verse number="19">හෙබ්‍රෙව්වරුන් කඩු ද හෙල්ල ද සාදා ගැනීම වැළැක්වීමට පිලිස්තිවරුන් අධිෂ්ඨාන කරගෙන සිටි නිසා මුළු ඉශ්රායෙල් දේශයෙහි කම්මල්කාරයෙකු සොයා ගන්නට බැරි විය.</verse>
				<verse number="20">ඉශ්රායෙල්වරු සියලු දෙනා තම තමන්ගේ හීවැල ද දෑකැත්ත ද පොරොව ද උදැල්ල ද මුවහත් කරන පිණිස පිලිස්තිවරුන් ළඟට ගියෝ ය.</verse>
				<verse number="21">එහෙත්, උදලු ද දෑකැති ද හීවැල් ද පොරෝ ද මුවහත් කිරීමට රිදී කාසියකින් තුනෙන් දෙකක් ද කෙවිටි හරිගස්සන්නට රිදී කාසියකින් තුනෙන් එකක් ද ඔව්හු අය කළෝ ය.</verse>
				<verse number="22">එබැවින් යුද්ධ දවසේ දී සාවුල්ටත්, ඔහුගේ පුත් ජොනතන්ටත් මිස ඒ දෙදෙනා සමඟ සිටි සෙනඟගෙන් කිසිවෙකු අතේ කඩුවක් වත්, හෙල්ලයක් වත් තිබුණේ නැත.</verse>
				<verse number="23">පිලිස්තිවරුන්ගේ මුර හමුදාව මික්-මාෂ්හි කඳු පාරට ගියෝ ය.</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">එක් දවසක් සාවුල්ගේ පුත් ජොනතන් තමාගේ ආයුධ රැගත් තරුණයාට කතා කොට, “එන්න, අර පැත්තේ සිටින පිලිස්තිවරුන්ගේ මුර හමුදාව ළඟට යමු”යි කීවේ ය. ජොනතන් ඒ බව තම පියාට දැන්නුවේ නැත.</verse>
				<verse number="2">සාවුල් ගිබියාවට යාබද ව පිහිටි මිග්‍රෝන්හි තිබුණ දෙළුම් ගස යට කඳවුරු බැඳගෙන සිටියේ ය. ඔහු සමඟ හයසියයක් පමණ සෙනඟ සිටියෝ ය.</verse>
				<verse number="3">ෂිලෝහි සමිඳාණන් වහන්සේගේ පූජකයා ව සිටි ඒලීගේ පුත් පිනෙහාස්ගේ පුත්‍රයා වන ඊකාබොද්ගේ සහෝදර වූ අහිතුබ්ගේ පුත්‍රයා වන අහියා ඒපොද් සැට්ටයක් ඇඳගෙන එහි සිටියේ ය. ජොනතන් ගිය බව සෙනඟ නොදත්හ.</verse>
				<verse number="4">පිලිස්තිවරුන්ගේ මුර හමුදාව ළඟට ජොනතන් යන්නට උත්සාහ කළ කඳුපාරවල් අතරේ, එක පැත්තක ගිරිකුළක් ද අනික් පැත්තේ තවත් ගිරිකුළක් ද විය. එකක නම බෝශෙශ් ය, අනිකේ නම සෙනේ ය.</verse>
				<verse number="5">එක ගිරිකුළක් උතුරට මික්මාෂ් ඉදිරිපිට ද අනික දකුණු දෙසට ශෙබා ඉදිරිපිට ද උස් ව පිහිටියේ ය.</verse>
				<verse number="6">ජොනතන් තමාගේ ආයුධ රැගත් තරුණයාට කතා කොට, “එන්න, අපි අර අචර්මඡේදිත නීචයන්ගේ මුර හමුදාව ළඟට යමු. සමහර විට සමිඳාණන් වහන්සේ අප උදෙසා ක්‍රියා කරනු ඇත. මන්ද, බොහෝ දෙනෙකු කරණකොටගෙන හෝ ස්වල්ප දෙනෙකු කරණකොටගෙන හෝ අප ගළවන්නට සමිඳාණන් වහන්සේට බැරිකමක් නැතැ”යි කීවේ ය.</verse>
				<verse number="7">ආයුධ රැගත් තරුණයා පිළිතුරු දෙමින්, “ඔබ අදහස් කරන සියල්ල කරන්න. අපි එහි යමු. ඔබ කැමැති ඕනෑ ම දෙයක් කරන්නට මම කැමැති වෙමි”යි ඔහුට කීවේ ය.</verse>
				<verse number="8">එවිට ජොනතන් කතා කරමින්, “අපි මනුෂ්‍යයන් ළඟට ගොස් ඔවුන්ට පෙනෙන්නට සිටිමු.</verse>
				<verse number="9">ඔවුන් අප ළඟට එන තෙක් අපට නතර වී සිටින්නට යයි කීවොත්, ඔවුන් අප ළඟට එන තෙක් අපි මේ ස්ථානයෙහි ම නැවතී සිටිමු.</verse>
				<verse number="10">ඔවුන් ළඟට එන්නැ යි අපට කීවොත්, අපි ඔවුන් වෙත නැඟී යමු. සමිඳාණන් වහන්සේ ඔවුන් අප අතට පාවා දී තිබෙන බවට එය ලකුණකි.”</verse>
				<verse number="11">ඔව්හු දෙදෙන ගොස් පිලිස්තිවරුන්ගේ මුර හමුදාවට පෙනෙන්නට සිටියෝ ය. පිලිස්තිවරු කතා කරමින්, “අන්න, හෙබ්‍රෙව්වරු සැඟවී සිටින ගුහාවලින් පිටතට එමින් සිටිති”යි කීවෝ ය.</verse>
				<verse number="12">මුර හමුදාවේ මිනිස්සු ජොනතන්ටත්, ඔහුගේ ආයුධ රැගත් තරුණයාටත් කතා කොට, “අප ළඟට පැමිණෙන්න. ඔබට යම් කාරණයක් කියන්නට අපට ඇතැ”යි කීවෝ ය. එවිට ජොනතන් තමාගේ ආයුධ රැගත් තරුණයාට කතා කොට, “මා පස්සේ එන්න, සමිඳාණන් වහන්සේ ඔවුන් ඉශ්රායෙල්වරුන්ගේ අතට පාවා දී තිබේ ය”යි කීවේ ය.</verse>
				<verse number="13">ජොනතන් ද ඔහු පස්සෙන් ඔහුගේ ආයුධ රැගත් තරුණයා ද සතර ගාතයෙන් නැඟී ගියෝ ය. ඔව්හු ජොනතන් ඉදිරියෙහි පැරදී වැටුණෝ ය. ආයුධ රැගත් තරුණයා ද ජොනතන් පස්සේ ගොස් ඔවුන් මරා දැමුවේ ය.</verse>
				<verse number="14">ජොනතන් ද ඔහුගේ ආයුධ රැගත් තරුණයා ද මෙසේ ප්‍රථම වරට මැරුවේ, අක්කර භාගයක පමණ බිම් පෙදෙසක සිටි මිනිසුන් විසිදෙනෙකු පමණ ය.</verse>
				<verse number="15">කඳවුරේ ද එළිමහනේ ද සිටි සෙනඟ අතරේ මහත් තැතිගැනීමක් ඇති විය. මුර හමුදාවත්, ආක්‍රමණකාරයෝත් වෙවුලුවෝ ය. පොළොව කම්පා විය. මෙසේ ඉතා මහත් සන්ත්‍රාසයක් ඇති විය.</verse>
				<verse number="16">බෙන්ජමින්ගේ දේශයෙහි ගිබියාහි සිටි සාවුල්ගේ රැකවල්ලු පිලිස්තිවරුන් වියවුල් වී ඔබමොබ විසිර යනු දුටුවෝ ය.</verse>
				<verse number="17">එවිට සාවුල් තමා ළඟ සිටි සෙනඟට කතා කොට, “අප කෙරෙන් කොපමණ දෙනෙක් ගියෝ දැ යි ගණන් කර බලන්නැ”යි කීවේ ය. ඔව්හු ගණන් කර බැලූ විට ජොනතන් ද ඔහුගේ ආයුධ රැගත් තරුණයා ද එහි නොසිටි බව දැනගත්තෝ ය.</verse>
				<verse number="18">එවිට සාවුල් අහියා නම් පූජකයාට කතා කොට, “ඒපොද් සැට්ටය මෙහි ගෙනෙන්නැ”යි කීවේ ය. ඒ අවස්ථාවේ දී ඒපොද් සැට්ටය ඉශ්රායෙල් ජනයාට ඉදිරියෙන් උසුලාගෙන ගියේ ඔහු ය.</verse>
				<verse number="19">සාවුල් පූජකයාට කතා කරන ඒ අවස්ථාවේ දී පිලිස්තිවරුන්ගේ කඳවුරේ ඇති වූ අවුල් වියවුල් එන්න එන්න වැඩි විය. “ඔබේ අත අහකට ගන්නැ”යි සාවුල් පූජකයාට කී ය.</verse>
				<verse number="20">එවිට සාවුල් ද ඔහු සමඟ සිටි මුළු සෙනඟ ද යුද්ධය සඳහා පැමිණියෝ ය. පිලිස්තිවරුන් අතරේ මහත් වියවුලක් තිබුණ බව ඔව්හු දුටුවෝ ය. එක එක මිනිසා තම තමාගේ කඩුවෙන් තම තමා ළඟ සිටි තැනැත්තාට පහර දුන්නේ ය.</verse>
				<verse number="21">ඊට පෙර පිලිස්තිවරුන් සමඟ සිටියාවූ ද ඔවුන් සමඟ කඳවුරට ගියාවූ ද හෙබ්‍රෙව්වරු, සාවුල් හා ජොනතන් සමඟ සිටි ඉශ්රායෙල්වරුන් වෙත හැරී ආවෝ ය.</verse>
				<verse number="22">එසේ ම එප්‍රායිම් කඳු රටේ සැඟවී සිටි සියලු ඉශ්රායෙල් ජනයා පිලිස්තිවරුන් පලා යන බව අසා, ඔවුන්ට පහර දෙමින් වේගයෙන් ඔවුන් ලුහුබැඳ ගියෝ ය.</verse>
				<verse number="23">මෙසේ සමිඳාණන් වහන්සේ ඒ දවසේ දී ඉශ්රායෙල්වරුන් ගැළෙවු සේක. යුද්ධය ද බෙත්-ආවන් ඉක්මවා පැතුරුණේ ය.</verse>
				<verse number="24">ඒ දවසේ දී ඉශ්රායෙල් සෙනඟ ආහාර නැති ව දුර්වල ව සිටියෝ ය. එසේ වූයේ “මා විසින් මාගේ සතුරන්ගෙන් පළිගනු ලබන තුරු, සවස වනතෙක්, කිසි කෑමක් කන මනුෂ්‍යයාට සාප වේවා”යි සෙනඟගෙන් සාවුල් දිවුරුම් ගත් බැවිනි. එබැවින් සෙනඟගෙන් කිසිවෙකු කෑම කෑවේ නැත.</verse>
				<verse number="25">ඔවුන් සියලු දෙනා වනයට පැමිණි විට එහි හැම තැන ම බිම මී පැණි සම්බ විය.</verse>
				<verse number="26">මී පැණි වැගිරෙනවා දුටු නමුත්, ඔවුන් දී තිබුණ දිවුරුම ගැන බිය වූ බැවින් කිසිවෙකු එයින් තමාගේ කටට බිඳක් වත් ගත්තේ නැත.</verse>
				<verse number="27">එහෙත්, තම පියා සෙනඟගෙන් දිවුරුමක් ගෙන තිබෙන බව ජොනතන් දැන සිටියේ නැත. ඒ නිසා ඔහු තමාගේ අතේ තිබුණ සැරයටිය දිගු කොට එහි අග මී වදයක ගල්වා ඒවා අරගෙන කටට ගත්තේ ය. එයින් ඔහුට අමුතු ශක්තියක් ලැබුණේ ය.</verse>
				<verse number="28">එවිට සෙනඟගෙන් එක් කෙනෙක් කතා කොට, “ඔබේ පියා අද කෑම කන මනුෂ්‍යයාට සාප වේවා යි කියා කෑම නොකන හැටියට සෙනඟගෙන් දිවුරුමක් ගත්තේ ය. ඒ නිසා සෙනඟ විඩාවට පත් වී සිටිති”යි කීවේ ය.</verse>
				<verse number="29">එවිට ජොනතන් පිළිතුරු දෙමින්, “මාගේ පියා ජාතියට කොතරම් අවැඩක් කර තිබේ ද? මේ මී පැණි ටික කෑමෙන් මට අමුතු ශක්තියක් ලැබුණු හැටි බලන්න.</verse>
				<verse number="30">ඉදින් තමන්ගේ සතුරන්ගෙන් කොල්ලකාගත් කෑම රිසි සේ අද කෑවා නම්, තවත් කොපමණ හොඳ ද? එසේ කළා නම්, පිලිස්තිවරුන්ගෙන් තවත් බොහෝ දෙනෙකු විනාශ කරන්නට ඉඩ තිබිණි”යි කීවේ ය.</verse>
				<verse number="31">ඒ දවසේ දී ඉශ්රායෙල්වරු මික්මාෂ් පටන් අයාලෝන් දක්වා පිලිස්තිවරුන්ට පහර දුන්නෝ ය. සෙනඟ බොහෝ සේ විඩාවට පත් වී සිටියෝ ය.</verse>
				<verse number="32">සෙනඟ කොල්ලය පිට කඩා පැන, බැටළුවන් ද හරකුන් ද වස්සන් ද අරගෙන බිම දමා මරා, ලේ පිටින් ම කෑවෝ ය.</verse>
				<verse number="33">එවිට, “සෙනඟ ලේ පිටින් ම කෑම කෑමෙන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කරති”යි සාවුල්ට දන්වන ලද්දේ ය. ඔහු ද පිළිතුරු දෙමින් “ඔබ ද්‍රෝහි ලෙස ක්‍රියා කළහු ය. මා ළඟට මහ ගලක් පෙරළාගෙන එන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="34">සාවුල් තවදුරටත් කතා කරමින්, “ඔබ සෙනඟ අතරට ගොස්, ලේ සමඟ කෑමෙන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් නොකර ඔබ එකිනෙකා තම තමාගේ හරකා ද බැටළුවා ද මා ළඟට ගෙනවුත් මෙහි දී මරා කන්නැ”යි කියන්නට අණ කෙළේ ය. සෙනඟ සියලු දෙනා තම තමාගේ හරකා රාත්‍රියෙහි ගෙනවුත් එහි දී මැරුවෝ ය.</verse>
				<verse number="35">සාවුල් එහි සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනැඟුවේ ය. එය ඔහු විසින් ගොඩනැඟුණු පළමු වන පූජාසනය ය.</verse>
				<verse number="36">සාවුල් සෙනඟ අමතා, “අපි අද රාත්‍රියේ පිලිස්තිවරුන් ලුහුබැඳ ගොස් ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඉතුරු නොකර, පහන් වන තෙක් මුළු රෑ ඔවුන්ගෙන් කොල්ලකාගනිමු”යි කීවේ ය. ඔව්හු ද පිළිතුරු දෙමින්, “ඔබට යහපතැ යි පෙනෙන කොයි දෙයක් වුව ද කළ මැනවැ”යි කීවෝ ය. එවිට පූජකයා, “අපි මෙහි දෙවියන් වහන්සේ වෙත ළං වමු”යි කීවේ ය.</verse>
				<verse number="37">සාවුල් ද, “මා පිලිස්තිවරුන්ට විරුද්ධ ව යන්නට ඕනෑ ද? ඔබ වහන්සේ ඔවුන් ඉශ්රායෙල් අතට පාවා දෙන සේක් දැ”යි දෙවියන් වහන්සේගෙන් විචාළේ ය. එහෙත්, උන් වහන්සේ එදා ඔහුට උත්තර නොදුන් සේක.</verse>
				<verse number="38">එවිට සාවුල් කතා කොට, “සෙනඟගේ සියලු ප්‍රධානියෙනි, මෙහි රැස් ව අද මේ පාප සිදු වුණේ කුමන හේතුවක් නිසා දැ යි සෝදිසි කර බලන්න.</verse>
				<verse number="39">වරදකරු මාගේ පුත් ජොනතන් වුව ද, ඉශ්රායෙල් ගළවන ජීවමාන සමිඳාණන් වහන්සේගේ නමින් මම දිවුරා, ඔහු වුව ද මරණයට පත් කරන්නෙමි”යි කීවේ ය. එහෙත්, මුළු සෙනඟ අතරෙන් කිසිවෙකු ඔහුට උත්තර දුන්නේ නැත.</verse>
				<verse number="40">එවිට ඔහු, “ඔබ සියලු දෙනා එක පැත්තක සිටින්න. මම ද මාගේ පුත් ජොනතන් ද අනික් පැත්තෙන් සිටින්නෙමු”යි සියලු ඉශ්රායෙල්වරුන්ට කීවේ ය. “ඔබට යහපත් යයි පෙනෙන දෙයක් කළ මැනවැ”යි සෙනඟ සාවුල්ට කීවෝ ය.</verse>
				<verse number="41">සාවුල් යාච්ඤා කරමින්, “ඉශ්රායෙල්හි දෙවි සමිඳාණන් වහන්ස, ඔබ වහන්සේගේ මෙහෙකරු වන මට අද ඔබ පිළිතුරු නුදුන්නේ මන් ද? ඉශ්රායෙල්හි දෙවි සමිඳුනි, වරද මා අත හෝ මාගේ පුත් ජොනතන් අත හෝ වේ නම්, උරීම් කැටයේ දාදුව දැමීමෙන් පෙන්වා දෙන්න. වරද ඔබ වහන්සේගේ ඉශ්රායෙල් සෙනඟ අතේ නම්, තුමිම් කැටයේ දාදුව දැමීමෙන් පෙන්වා දෙන්නැ”යි සමිඳාණන් වහන්සේට කීවේ ය. දාදු දැමූ විට සාවුල් සහ ජොනතන් වරදකරුවන් බව පෙනිණි. සෙනඟ වරදින් නිදහස් වුණෝ ය.</verse>
				<verse number="42">එවිට සාවුල් කතා කරමින්, “මා සහ මාගේ පුත් ජොනතන් අතරෙන් වරදකරු කවරෙක් දැ යි බලන පිණිස දාදු දමන්නැ”යි කී ය. එසේ කළ විට ජොනතන් වරදකරු බව පෙනිණි.</verse>
				<verse number="43">“ඔබ කෙළේ කුමක් ද කියා මට කියන්නැ”යි සාවුල් ජොනතන්ට කීවේ ය. ජොනතන් පිළිතුරු දෙමින්, “මාගේ අතේ තිබුණ සැරයටියේ අගින් මී පැණි ටිකක් ගෙන මා කෑ බව සැබෑ ය. ඒ නිසා මෙන්න, මම මැරෙන්නට සූදානම් ය”යි කීවේ ය.</verse>
				<verse number="44">සාවුල් පිළිතුරු දෙමින්, “ජොනතන් ඔබ නසින්නට ම ඕනෑ ය; නැත්නම් දෙවියන් වහන්සේ ඊට වැඩියෙනුත් මට දඬුවම් කරන සේක්වා”යි කීයේ ය.</verse>
				<verse number="45">එවිට සෙනඟ සාවුල්ට කතා කොට, “ඉශ්රායෙල්ට මේ මහත් ජයග්‍රහණය ලබා දුන් ජොනතන් නසින්නට ඕනෑ ද? එසේ නොවේ වා. ඔහුගේ හිසෙන් කේශයක් වත් බිම නොවැටිය යුතු යයි ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමු. මන්ද, ඔහු දෙවියන් වහන්සේ සමඟ අද දවසේ ක්‍රියා කෙළේ ය”යි කීවෝ ය. මෙසේ ජොනතන් නොනසින ලෙස සෙනඟ ඔහු බේරාගත්තෝ ය.</verse>
				<verse number="46">එවිට සාවුල් පිලිස්තිවරුන් ලුහුබැඳ නොගොස් හැරී ආවේ ය. පිලිස්තිවරු ඔවුන්ගේ ප්‍රදේශයට යන්නට ගියෝ ය.</verse>
				<verse number="47">සාවුල් ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජ කමට පත් කරනු ලැබූ පසු අවට සිටි තමාගේ සියලු සතුරන් වන මෝවබ්වරුන්ටත්, අම්මොන්වරුන්ටත්, ඒදොම්වරුන්ටත්, ශෝබාහි රජුන්ටත්, පිලිස්තිවරුන්ටත් විරුද්ධ ව යුද්ධ කෙළේ ය. ඔහු ගිය ගිය තැන ජය ගත්තේ ය.</verse>
				<verse number="48">ඔහු වික්‍රමාන්විත ක්‍රියා කරමින් අමලෙක්වරුන්ට පහර දී ඉශ්රායෙල්වරුන්ව කොල්ලකන අයගේ අත්වලින් ඔවුන් ගළවා ගත්තේ ය.</verse>
				<verse number="49">සාවුල්ගේ පුත්‍රයෝ නම්: ජොනතන් ද ඉෂ්වී ද මල්කීෂුවා ද යන මොවුහු ය. ඔහුගේ දූවරුන් දෙදෙනාගේ නම් මේවා ය: වැඩිමහල් දුවගේ නම මේරබ් ය, බාල දුවගේ නම මීකල් ය.</verse>
				<verse number="50">සාවුල්ගේ භාර්යාවගේ නම අභිනොවම් ය. ඈ අභීමයාශ්ගේ දුව ය. ඔහුගේ සේනාපතියාගේ නම අබ්නේර් ය. ඔහු සාවුල්ගේ බාප්පා වන නේර්ගේ පුත්‍රයා ය.</verse>
				<verse number="51">සාවුල්ගේ පිය වූ කිෂ් සහ අබ්නේර්ගේ පිය වූ නේර් අබියෙල්ගේ පුත්‍රයෝ ය.</verse>
				<verse number="52">සාවුල්ගේ මුළු ජීවිත කාලයේ දී ම පිලිස්තිවරුන්ට විරුද්ධ ව දරුණු යුද්ධ පැවතුණේ ය. සාවුල් වනාහි යම් බලසම්පන්න මනුෂ්‍යයෙකු හෝ වික්‍රමාන්විත මනුෂ්‍යයෙකු හෝ දුටු විට ඔහු රාජ සේවය සඳහා පත් කරගත්තේ ය.</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">සාමුවෙල් සාවුල්ට කතා කොට මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ තමන්ගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඔබ රජ කොට අභිෂේක කරන පිණිස මා එවූ සේක. එබැවින් දැන් සමිඳාණන් වහන්සේ වදාරන දේට සවන් දෙන්න.</verse>
				<verse number="2">සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ඉශ්රයෙල් සෙනඟ මිසර දේශයෙන් එන කල, මාර්ගයේ දී අමලෙක්වරුන් ඔවුන්ට විරුද්ධ ව ක්‍රියා කළ නිසා මම ඔවුන්ට දඬුවම් කරමි.</verse>
				<verse number="3">දැන් නුඹ අමලෙක්වරුන්ට පහර දී ඔවුන් ඉතිරි නොකොට, ඔවුන් සතු සියල්ල සහමුලින් ම විනාශකර දමා, පුරුෂයන් හා ස්ත්‍රීන් ද බාලයන් හා කිරි දරුවන් ද ගවයන් හා බැටළුවන් ද ඔටුවන් හා කොටළුවන් ද මරා දමන්න.’ “</verse>
				<verse number="4">සාවුල් සෙනඟ එකතු කරගෙන තෙලායිම්හි දී ඔවුන් ගණන් කෙළේ ය. පාබළ සෙනඟ දෙලක්ෂයක් ද ජුදාවෙන් හේවායෝ දස දහසක් ද සිටියෝ ය.</verse>
				<verse number="5">සාවුල් අමලෙක්වරුන්ගේ නුවරට පැමිණ මිටියාවතේ සැඟවී රැක සිටියේ ය.</verse>
				<verse number="6">තවද, සාවුල් කේනිවරුන්ට කතා කොට, “මා විසින් අමලෙක්වරුන් සමඟ ඔබ විනාශ නොකරනු ලබන පිණිස ඔවුන් කෙරෙන් අහක් ව යන්න. මන්ද, ඉශ්රායෙල්වරුන් මිසරයෙන් එද්දී ඔබ ඔවුන් සියල්ලන්ට කරුණා කළ නිසා ය”යි ඔවුන්ට කීවේ ය. එබැවින් කේනිවරු අමලෙක්වරුන් අතරෙන් අහක් ව ගියෝ ය.</verse>
				<verse number="7">සාවුල් ද හවිලා පටන් මිසරයට පෙරදිගින් පිහිටා තිබෙන ෂූර් දක්වා අමලෙක්වරුන්ට පහර දුන්නේ ය.</verse>
				<verse number="8">ඔහු අමලෙක්වරුන්ගේ රජ වූ ආගග් පණපිටින් අල්ලාගෙන, සියලු සෙනඟ කඩුවෙන් ගසා දමා සහමුලින් ම විනාශ කර දැමුවේ ය.</verse>
				<verse number="9">එහෙත්, සාවුල් සහ සෙනඟ ආගග් ද බැටළුවන් හා ගවයන්ගෙනුත්, තර සතුන්ගෙනුත් ඉතා හොඳ සතුන් ද බැටළු පැටවුන් ද ප්‍රයෝජනවත් දේ සියල්ල ද විනාශ නොකර ඉතිරි කරගත්තෝ ය. ප්‍රයෝජනයක් නැති, නොවටින සියල්ල ම ඔව්හු විනාශ කර දැම්මෝ ය.</verse>
				<verse number="10">සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට,</verse>
				<verse number="11">“මම සාවුල් රජකමට පත් කිරීම ගැන තැවෙමි; මන්ද, ඔහු මාගේ ආඥා නොපවත්වා මා කියන දේ ඉටු නොකර මා වෙතින් අහක් ව ගොස් ඇතැ”යි වදාළ සේක. සාමුවෙල් උදහස් වී රාත්‍රිය මුළුල්ලේ සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය.</verse>
				<verse number="12">සාමුවෙල් සාවුල් හමු වන පිණිස පසු දින උදේ ම නැඟිට ගියේ ය. “සාවුල් කර්මෙල් කන්දට පැමිණ එහි තමාගේ නමින් ජයස්ථම්භයක් පිහිටුවා එතැනින් පිටත් වී ගිල්ගාල් බලා නික්ම ගියේ ය”යි සාමුවෙල්ට දන්වන ලද්දේ ය.</verse>
				<verse number="13">සාමුවෙල් සාවුල් වෙත පැමිණෙන කල සාවුල් ඔහු අමතා, “සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක්වා; මම සමිඳාණන් වහන්සේ වදාළ දේ ඉෂ්ට කෙළෙමි”යි කී ය.</verse>
				<verse number="14">සාමුවෙල් පිළිතුරු දෙමින්, “එසේ නම්, මට ඇසෙන මේ බැටළු හඬත්, මට ඇසෙන ගවයින්ගේ හඬත් කිමෙක් දැ”යි ඇසුවේ ය.</verse>
				<verse number="15">සාවුල් පිළිතුරු දෙමින්, “මාගේ සෙනඟ අමලෙක්වරුන්ගෙන් උන් ගෙනාවෝ ය. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පූජා කරන පිණිස සෙනඟ බැටළුවන්ගෙන් ද ගොනුන්ගෙන් ද ඉතා හොඳ සතුන් ඉතිරි කරගත්තෝ ය. සෙසු සතුන් අපි සහමුලින් ම විනාශ කර දැමුවෙමු”යි කීවේ ය.</verse>
				<verse number="16">එවිට සාමුවෙල්, “නවතින්න, මේ රාත්‍රියේ සමිඳාණන් වහන්සේ මට වදාළ කාරණය ඔබට දන්වමි”යි සාවුල්ට කීවේ ය. “කිව මැනවැ”යි සාවුල් කී ය.</verse>
				<verse number="17">එවිට සාමුවෙල් මෙසේ පිළිතුරු දුන්නේ ය: “ඔබ සුළු කෙනෙකැ යි ඔබ ම සිතූ නමුත්, ඔබ ඉශ්රායෙල් ගෝත්‍ර කෙරෙහි නායකයා කරනු ලැබුවා නොවේ ද? සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකමට ඔබ අභිෂේක කළ සේක.</verse>
				<verse number="18">සමිඳාණන් වහන්සේ ඔබ පිටත් කර යවමින්, ‘පව්කාරයන් වන අමලෙක්වරුන් විනාශ කරදමා ඔවුන් නැති වී යන තුරු ඔවුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නැ’යි ඔබට වදාළ සේක.</verse>
				<verse number="19">එහෙත්, සමිඳාණන් වහන්සේගේ අණට කීකරු නොවී කොල්ලය පිට කඩා පැන, සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි වැරදි සහිත දේ කෙළේ මක්නිසා දැ”යි ඇසී ය.</verse>
				<verse number="20">සාවුල් පිළිතුරු දෙමින්, “නැත, මම සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු ව, සමිඳාණන් වහන්සේ මා යැවූ ගමන ගොස් අමලෙක්වරුන්ගේ රජ වූ ආගග් ගෙනාවෙමි; අමලෙක්වරුන් ද සහමුලින් ම විනාශ කරදැමීමි.</verse>
				<verse number="21">එහෙත්, සෙනඟ විනාශ කළ යුතුව තිබූ දේවලින් ඉස්තරම් කොටස වන බැටළුවන් ද ගවයන් ද කොල්ලය අතරෙන් රැගෙන ගිල්ගාල්හි දී ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පූජා කරන පිණිස ගෙනාවෝ ය”යි සාමුවෙල්ට කීවේ ය.</verse>
				<verse number="22">සාමුවෙල් පිළිතුරු දෙමින්, “හිමි තුමන්ට වඩා ප්‍රසන්න වන්නේ කුමක් ද? එතුමන්ගේ හඬට කීකරු වීම ද නැතහොත් දවන පූජා හා යාග පූජා ද? පූජාවට වඩා කීකරු වීම හොඳ ම ය. බැටළු තෙල් පිදීමට වඩා අවනත වීම හොඳ ය.</verse>
				<verse number="23">මන්ද, කැරලිකාරකම අනවින කිරීමේ පාපයට සමාන ය. මුරණ්ඩුකම රූප ඇදහීමට සමාන ය. ඔබ සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කළ නිසා උන් වහන්සේ ඔබ රජකමෙන් ඉවත් කළ සේකැ”යි කීවේ ය.</verse>
				<verse number="24">සාවුල් සාමුවෙල්ට පිළිතුරු දෙමින්, “මම පව් කෙළෙමි. මන්ද, මම සෙනඟට බිය වී ඔවුන්ගේ හඬට කීකරු වූ බැවින් සමිඳාණන් වහන්සේගේ ආඥාව ද ඔබේ වචන ද කඩ කෙළෙමි.</verse>
				<verse number="25">එහෙත්, දැන් ඔබ මාගේ පාපයට කමා වී සමිඳාණන් වහන්සේට මා නමස්කාර කරන පිණිස මා සමඟ අව මැනවැ”යි කීවේ ය.</verse>
				<verse number="26">සාමුවෙල් පිළිතුරු දෙමින්, “මම ඔබ සමඟ ආපසු නොඑමි. මන්ද, ඔබ සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කෙළෙහි ය; සමිඳාණන් වහන්සේ ද ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකමින් ඔබ පහකළ සේකැ”යි සාවුල්ට කීවේ ය.</verse>
				<verse number="27">සාමුවෙල් යන්නට හැරෙන විට සාවුල් ඔහුගේ සළුවේ කෙළවර අල්ලාගත්තේ ය. එවිට ඒ සළුව ඉරුණේ ය.</verse>
				<verse number="28">සාමුවෙල් ඔහුට කතා කරමින්, “සමිඳාණන් වහන්සේ අද ඉශ්රායෙල් රාජ්‍යය ඔබෙන් ගෙන ඉරා ඔබට වඩා යහපත් ඔබේ අසල්වැසියෙකුට දී තිබේ.</verse>
				<verse number="29">ඉශ්රායෙල්හි පරාක්‍රමයාණෝ බොරු නොකියන සේක. අධිෂ්ඨාන කරගත් දේ වෙනස් නොකරන සේක. උන් වහන්සේ මනුෂ්‍යයෙකු නොවන බැවින් සිතූ දේ වෙනස් නොකරන සේකැ”යි කීවේ ය.</verse>
				<verse number="30">එවිට සාවුල් පිළිතුරු දෙමින්, “මම පව් කළෙමි; එහෙත්, දැනට මාගේ සෙනඟගේ ප්‍රජා මූලිකයන් ද ඉශ්රායෙල්වරුන් ද ඉදිරියෙහි මට ගෞරවය දී, මා විසින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට නමස්කාර කරනු ලබන පිණිස මා සමඟ අව මැනව”යි කීවේ ය.</verse>
				<verse number="31">එවිට සාමුවෙල් සාවුල් සමඟ ගියේ ය. සාවුල් ද සමිඳාණන් වහන්සේට නමස්කාර කෙළේ ය.</verse>
				<verse number="32">එවිට සාමුවෙල් කතා කොට, “අමලෙක්වරුන්ගේ රජ වූ ආගග් මා ළඟට ගෙනෙන්නැ”යි කීවේ ය. ආගග් ද, ‘මරණයට පත් වීම කෙතරම් භයානක දෙයක් ද’ කියා සිතමින් භයෙන් වෙවුල වෙවුලා සාමුවෙල් වෙත ආවේ ය.</verse>
				<verse number="33">සාමුවෙල් ද කතා කොට, “ඔබේ කඩුව, ස්ත්‍රීන් දරුවන් නැති අය කළාක් මෙන් ඔබේ මවත් ස්ත්‍රීන් අතරෙහි දරුවන් නැති කෙනෙක් වන්නී ය”යි කියා ගිල්ගාල්හි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ආගග් කැබලි කොට කපා දැමුවේ ය.</verse>
				<verse number="34">ඉක්බිති සාමුවෙල් රාමා නගරයට ගියේ ය; සාවුල් ද ගිබියාහි තිබුණ තමාගේ ගෙදරට ගියේ ය.</verse>
				<verse number="35">ඉන්පසු සාමුවෙල් ජීවිතාන්තය දක්වා තවත් සාවුල් දුටුවේ නැත. එහෙත්, සාමුවෙල් සාවුල් ගැන ශෝක විය. සමිඳාණන් වහන්සේ සාවුල් ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකමට පත් කළ බැවින් තැවුණු සේක.</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, “නුඹ කොපමණ කල් සාවුල් ගැන ශෝක වන්නෙහි ද, මම ඔහු ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකම් කිරීමෙන් පහ කෙළෙමි. දැන් නුඹ තෙල් කුලාව පුරවාගෙන බෙත්ලෙහෙමෙහි සිටින ජෙස්සේ නම් තැනැත්තා වෙත යන්න. මන්ද, ඔහුගේ පුත්‍රයන් අතරෙන් රජෙකු මම තෝරාගත්තෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="2">සාමුවෙල් පිළිතුරු දෙමින්, “මා එසේ කරන්නේ කොහොම ද? එය සාවුල්ට සැළ වුණොත් ඔහු මා මරනු ඇතැ”යි කී ය. සමිඳාණන් වහන්සේ ද පිළිතුරු දෙමින්, “නුඹ වැස්සියක ගෙන ‘සමිඳාණන් වහන්සේට පූජා කරන පිණිස ආවෙමි’යි කියන්න.</verse>
				<verse number="3">ජෙස්සේ ද ඒ පූජාවට කැඳවන්න. එවිට නුඹ විසින් කරනු ලැබිය යුතු දේ මම නුඹට පෙන්වන්නෙමි. මා නුඹට කියන තැනැත්තා රජු වශයෙන් නුඹ අභිෂේක කළ යුතු ය”යි වදාළ සේක.</verse>
				<verse number="4">සාමුවෙල් සමිඳාණන් වහන්සේ වදාළ දේ කරමින්, බෙත්ලෙහෙමට පැමිණියේ ය. එවිට නගරයේ ප්‍රජා මූලිකයෝ වෙවුලමින් ඔහු හමු වන්නට අවුත්, “ඔබ එන්නේ සාමදානයෙන් දැ”යි ඇසූ හ.</verse>
				<verse number="5">සාමුවෙල් පිළිතුරු දෙමින්, “සාමදානයෙන් ය; සමිඳාණන් වහන්සේට පූජා කරන්නට ආවෙමි; ඔබ හැම පවිත්‍ර වී මා සමඟ පූජාවට එන්නැ”යි කීවේ ය. සාමුවෙල්, ජෙස්සේ ද ඔහුගේ පුත්‍රයන් ද පවිත්‍ර කොට පූජාවට කැඳෙව්වේ ය.</verse>
				<verse number="6">ඔවුන් පැමිණි කල සාමුවෙල් එලියාබ් දෙස බලා, “සැබැවින් ම සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තේ උන් වහන්සේ ඉදිරියෙහි සිටී”යි තමන්ට ම කියාගත්තේ ය.</verse>
				<verse number="7">එහෙත්, සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, “ඔහුගේ පෙනීම දෙස වත්, ශරීරයේ උස මහත දෙස වත් නොබලන්න; මන්ද, මම ඔහු ප්‍රතික්ෂේප කෙළෙමි. සමිඳාණන් වහන්සේ මිනිසා බලන්නාක් මෙන් නොබලන සේක. මිනිසා බලන්නේ බාහිර පෙනීම දෙස ය. එහෙත්, සමිඳාණන් වහන්සේ බලන්නේ සිත දෙස ය”යි වදාළ සේක.</verse>
				<verse number="8">එවිට ජෙස්සේ අබිනාදාබ්ට හඬගසා සාමුවෙල් ඉදිරිපිටට එන්නට සැලැස්වී ය. “මොහු වත් සමිඳාණන් වහන්සේ තෝරා නොගත් සේකැ”යි සාමුවෙල් කී ය.</verse>
				<verse number="9">එවිට ජෙස්සේ ෂම්මා ඔහු ඉදිරිපිටින් එන්නට සැලැස්විය. “මොහු වත් සමිඳාණන් වහන්සේ තෝරා නොගත් සේකැ”යි සාමුවෙල් කී ය.</verse>
				<verse number="10">මෙසේ ජෙස්සේ තමාගේ පුත්‍රයන්ගෙන් සත්දෙනෙකු සාමුවෙල් ඉදිරිපිටට එන්නට සැලැස්සුවේ ය. සාමුවෙල් ද, “මොවුන් එක් කෙනෙකු වත් සමිඳාණන් වහන්සේ තෝරා නොගත් සේකැ”යි ජෙස්සේට කී ය.</verse>
				<verse number="11">එසේ කියා සාමුවෙල්, “ඔබේ පුත්‍රයෝ හැම දෙනා ම මෙහි සිටිත් දැ”යි ජෙස්සේගෙන් ඇසී ය. ජෙස්සේ පිළිතුරු දෙමින්, “තව ඉතිරි ව සිටින්නේ බාලයා ය; ඔහු බැටළුවන් බලාගෙන සිටිනවා ය”යි කී ය. සාමුවෙල් ද, “පණිවුඩකාරයෙකු යවා ඔහු මෙහි ගෙන්වන්න. ඔහු මෙහි එන තුරු අපි පූජාව ඔප්පු නොකරන්නෙමු”යි ජෙස්සේට කී ය.</verse>
				<verse number="12">එවිට ජෙස්සේ පණිවුඩකාරයෙකු යවා ඔහු ගෙන් වී ය. ඔහු රතු පැහැයක් ද කඩවසම් පෙනුමක් ද දීප්තිමත් නෙත් යුවලක් ද ඇති කෙනෙකි, සමිඳාණන් වහන්සේ කතා කරමින්, “නැඟිට මොහු අභිෂේක කරන්න; මොහු ඒ තැනැත්තා ය”යි වදාළ සේක.</verse>
				<verse number="13">එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන ඒ තැනැත්තා ඔහුගේ සහෝදරයන් ඉදිරියෙහි අභිෂේක කෙළේ ය. එදින පටන් සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය දාවිත් කෙරෙහි පිහිටිණි. සාමුවෙල් නැඟිට ආපසු රාමා නගරයට ගියේ ය.</verse>
				<verse number="14">සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය සාවුල් කෙරෙන් පහ ව ගියේ ය. සමිඳාණන් වහන්සේ එවූ දුෂ්ටාත්මයක් ඔහු කැළඹුවේ ය.</verse>
				<verse number="15">සාවුල්ගේ සේවකයෝ ඔහුට කතා කොට, “දෙවියන් වහන්සේ එවූ දුෂ්ටාත්මයක් ඔබ කළඹන්නේ ය.</verse>
				<verse number="16">ඒ නිසා දක්ෂ වීණාකාරයෙකු සොයන පිණිස අපේ ස්වාමීන්ගේ සේවකයන් වන අපට අණ කළ මැනව. එවිට දෙවියන් වහන්සේ එවන දුෂ්ටාත්මය ඔබට ආවේශ වූ කල, ඔබට සුව සහනය ලැබෙන පිණිස ඔහු වාදනය කරනු ඇතැ”යි කීවෝ ය.</verse>
				<verse number="17">සාවුල් කතා කොට, “හොඳට වාදනය කරන මිනිසෙකු සොයා ඔහු මා වෙත ගෙනෙන්නැ”යි සේවකයන්ට කීවේ ය.</verse>
				<verse number="18">එවිට සේවකයන්ගෙන් එක් කෙනෙක් පිළිතුරු දෙමින්, “දක්ෂ වාදකයෙකු වන පුත්‍රයෙක් බෙත්ලෙහෙමේ වසන ජෙස්සේට සිටියි. ඔහු නිර්භීත කෙනෙකි; දක්ෂ හේවායෙකි; කතාවෙහි දක්ෂ ය; රූපසම්පන්න ය. සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිටින සේකැ”යි කීවේ ය.</verse>
				<verse number="19">එවිට සාවුල් ජෙස්සේ වෙත පණිවුඩකාරයන් යවමින්, “බැටළුවන් සමඟ සිටින ඔබේ පුත්‍රයා වන දාවිත් මා ළඟට එවන්නැ”යි කියා යැවී ය.</verse>
				<verse number="20">එවිට ජෙස්සේ රොටි ද මිදියුස භාජනයක් ද කොටළුවෙකු පිට පටවා එළු පැටවෙකු සමඟ ඒවා තමාගේ පුත් දාවිත් අත සාවුල්ට යැව්වේ ය.</verse>
				<verse number="21">දාවිත් සාවුල් වෙත අවුත්, ඔහුගේ සේවයට බැඳුණේ ය. සාවුල් ඔහුට ඉතා ප්‍රේම කෙළේ ය. ඔහු සාවුල්ගේ ආයුධ රැගෙන යන්නා විය.</verse>
				<verse number="22">සාවුල් ජෙස්සේට පණිවුඩයක් යවමින්, “දාවිත් මට ප්‍රිය මනාප නිසා ඔහු මා සමඟ සිටියාවේ”යි කියා ඇරියේ ය.</verse>
				<verse number="23">එතැන් පටන් දෙවියන් වහන්සේ සාවුල්ට දුෂ්ටාත්මයක් ආවේශ කළ විට දාවිත් වීණාව රැගෙන වාදනය කෙළේ ය. එයින් සාවුල්ට සුව සහනය ලැබී දුෂ්ටාත්මය ඔහුගෙන් පහ ව ගියේ ය.</verse>
			</chapter>
			<chapter number="17">
				<verse number="1">පිලිස්තිවරු ජුදාහි නගරයක් වන සෝකෝ නම් ස්ථානයට යුද්ධය පිණිස රැස් වූ හ. ඔව්හු සෝකෝ නගරයටත්, අශේකා නගරයටත් අතරේ එපෙස්-දම්මීම්හි කඳවුරු බැඳගත්හ.</verse>
				<verse number="2">සාවුල් ද ඉශ්රායෙල් ජනයා ද එක් රැස් ව ඒලා මිටියාවතේ කඳවුරු බැඳගෙන පිලිස්තිවරුන්ට විරුද්ධ ව යුද්ධය සඳහා සැරසී සිටියහ.</verse>
				<verse number="3">පිලිස්තිවරු එක පැත්තක තිබුණ කන්දේ ද ඉශ්රායෙල්වරු අනික් පැත්තේ තිබුණ කන්දේ ද සිටියහ. ඒ කඳු දෙකට අතරේ මිටියාවතක් තිබිණි.</verse>
				<verse number="4">ගාත් නගරයෙහි වැසියෙකු වූ ගොලියත් නම් මල්ලවයෙක් පිලිස්තිවරුන්ගේ කඳවුරෙන් ඉදිරිපත් ව ආවේ ය. ඔහු මීටර් තුනක් පමණ උස ය.</verse>
				<verse number="5">ඔහුගේ හිසේ ලෝකඩ තොප්පියක් තිබිණි; ඔහු ලෝහ යුද්ධ ඇඳුමක් පැළඳගෙන සිටියේ ය. එය කිලෝග්‍රෑම් පණස්හතක් පමණ බර ය.</verse>
				<verse number="6">ඔහුගේ පාදවල ලෝකඩ වැසුම් තිබිණි. ඔහුගේ උරහිස මත කුඩා ලෝකඩ හෙල්ලයක් එල්ලාගෙන සිටියේ ය.</verse>
				<verse number="7">ඔහුගේ මහා හෙල්ලයේ මිට, වියන යන්ත්‍රයක දණ්ඩකට සමාන ය; එහි තලය කිලෝග්‍රෑම් හතක් පමණ බර ය. ඔහුගේ පලිහ ගෙන යන්නා ඔහුට පෙරටුවෙන් ගියේ ය.</verse>
				<verse number="8">ගොලියත් නැඟිට ඉශ්රායෙල් සෙනඟට මොරගසා, “ඔබ යුද්ධ කරන පිණිස සැරසී සිටින්නේ කුමට ද? මම පිලිස්තියයෙක් නොවෙම් ද? ඔබ සාවුල්ගේ දාසයෝ නොවන්නහු ද? මා සමඟ සටන් කරන පිණිස ඔබ අතරෙන් එක මිනිසෙකු තෝරාගන්න.</verse>
				<verse number="9">මා සමඟ සටන් කොට මා මරන්නට ඔහුට පුළුවන් වුණොත්, අපි ඔබේ මෙහෙකරුවෝ වන්නෙමු. එහෙත්, මා ඔහුගෙන් ජය ගෙන ඔහු මැරුවොත්, ඔබ අපේ මෙහෙකරුවන් ව අපට සේවය කරන්නට ඕනෑ ය”යි කීවේ ය.</verse>
				<verse number="10">තවදුරටත් ඒ පිලිස්තියයා කතා කරමින්, “මම ඉශ්රායෙල් සේනාවට අද දවසේ අභියෝග කරමි. මා සමඟ සටන් කරන්නට මිනිසෙකු තෝරා ඉදිරිපත් කරන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="11">සාවුල් ද සියලු ඉශ්රායෙල් ජනයා ද පිලිස්තියයාගේ ඒ වචන අසා තැතිගෙන බොහෝ සෙයින් බියපත් වූ හ.</verse>
				<verse number="12">දාවිත් ජුදයේ බෙත්ලෙහෙම්හි ජෙස්සේ නම් වූ එප්‍රාතියයාගේ පුත්‍රයා ය; ජෙස්සේට පුත්‍රයෝ අටදෙනෙක් වූ හ. සාවුල් රජ ව සිටි කාලයේ ජෙස්සේ දුබල මහලු මනුෂ්‍යයෙක් විය.</verse>
				<verse number="13">ජෙස්සේගේ වැඩිමහල් පුත්‍රයෝ තුන් දෙනා සාවුල් අනුව යුද්ධයට ගියහ. යුද්ධයට ගිය ඔහුගේ පුත්‍රයන් තිදෙනාගේ නාම මෙසේ ය; කුලුඳුලා එලියාබ් ය, දෙවැනියා අබිනාදාබ් ය. තුන්වැනියා ෂම්මා ය.</verse>
				<verse number="14">දාවිත් සියල්ලන්ට ම බාලයා ය. වැඩිමහල් තිදෙනා සාවුල් සමඟ නැවතී සිටියහ.</verse>
				<verse number="15">දාවිත් වනාහි බෙත්ලෙහෙම්හි තමාගේ බැටළුවන් බලා ගන්න පිණිස සාවුල් වෙතින් ඔබමොබ ගියේ ය.</verse>
				<verse number="16">ගොලියත් හතළිස් දවසක් මුළුල්ලේ උදයේත්, සවසත් ඉදිරියට අවුත් අභියෝග කෙළේ ය.</verse>
				<verse number="17">දිනක් ජෙස්සේ තම පුත් දාවිත්ට කතා කොට, “මේ විළඳවලින් කිලෝග්‍රෑම් දහයක් ද මේ රොටි දසය ද රැගෙන කඳවුරේ සිටින ඔබේ සහෝදරයන් ළඟට ඉක්මනින් ගොස් ඒවා ඔවුන්ට දෙන්න;</verse>
				<verse number="18">ඔවුන්ගේ සහශ්‍රාධිපතියාට මේ කේජු ගෙඩි දසය ද ගෙන ගොස් දී ඔබේ සහෝදරයන්ගේ සැප සනීප කොහොම ද කියා බලා ඔවුන්ගේ තොරතුරු දැනගෙන ආපසු එන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="19">ඒ අවස්ථාවේ දී සාවුල් ද දාවිත්ගේ සහෝදරයෝ ද ඉශ්රායෙල් සෙනඟ සියලු දෙනා ද ඒලා නම් මිටියාවතේ පිලිස්තිවරුන් සමඟ සටන් කරමින් සිටියහ.</verse>
				<verse number="20">දාවිත් අලුයම නැඟිට, බැටළු පාලකයෙකුට බැටළුවන් භාර දී, ජෙස්සේ තමාට අණ කළ ලෙස ආහාර රැගෙන ගොස් කඳවුර තිබුණ ස්ථානයට පැමිණියේ ය. ඒ අවස්ථාවේ දී සේනාව රණ බිමට යමින් ඔල්වර හඬ නඟමින් සිටියහ.</verse>
				<verse number="21">ඉශ්රායෙල්වරුන්ගේ සේනාව ද පිලිස්තිවරුන්ගේ සේනාව ද එක එකාට විරුද්ධ ව මුහුණට මුහුණ ලා යුද්ධයට සැරසී සිටියහ.</verse>
				<verse number="22">දාවිත් තමා ගෙනා දේවල් බඩු ප්‍රවේසම් කරන්නා අතට දී, සේනාව ළඟට දිව ගොස් තමාගේ සහෝදරයන්ට ආචාර කෙළේ ය.</verse>
				<verse number="23">ඔහු ඔවුන් සමඟ කතා කරන කල, ගාත්හි ගොලියත් නම් පිලිස්තිය මල්ලවයා පිලිස්තිවරුන්ගේ හමුදාවෙන් පිටත් ව අවුත් කලින් මෙන් අභියෝග කෙළේ ය. දාවිත්ට එය ඇසිණි.</verse>
				<verse number="24">ඉශ්රායෙල් සෙනඟ සියලු දෙනා ඒ මිනිසා දුටු විට බොහෝ සෙයින් බිය වී ඔහු ඉදිරියෙන් පලා ගියහ.</verse>
				<verse number="25">ඉශ්රායෙල් සෙනඟ කතා කොට, “ඉදිරියට එන අර මිනිසා දෙස බලන්න. ඉශ්රායෙල්වරුන්ට ඔහු කරන අභියෝගය අසන්න. යම් මිනිසෙකු ඔහු මැරුවොත්, රජතුමා ඔහුට බොහෝ වස්තුව දී ඔහු ධනවතෙකු කොට, තමාගේ දුව ඔහුට සරණපාවා දී, ඉශ්රායෙල්හි ඔහුගේ පියාගේ පවුල අයබදුවලින් නිදහස් කරනු ඇතැ”යි කී හ.</verse>
				<verse number="26">දාවිත් තමා ළඟ සිටි මිනිසුන්ට කතා කොට, “මේ පිලිස්තියයා මරා දමා ඉශ්රායෙල්වරුන් කෙරෙන් නින්දාව පහකරන මිනිසාට කුමක් දෙන්නේ ද? ජීවමාන දෙවියන් වහන්සේගේ සේනාවලට අභියෝග කරන මේ අචර්මඡේදිත පිලිස්තියයා කවරෙක් දැ”යි ඇසී ය.</verse>
				<verse number="27">සෙනඟ ද පෙර සේ පිළිතුරු දෙමින් ඒ මිනිසා මරන තැනැත්තාට දෙන දේ ද කී හ.</verse>
				<verse number="28">දාවිත් මිනිසුන්ට කතා කරන කල ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන එලියාබ් අසාගෙන සිටියේ ය. එවිට එලියාබ් දාවිත් කෙරේ කෝප වී, “ඔබ ආවේ කුමකට ද? පාළුකරයේ සිටින ඒ බැටළුවන් ස්වල්ප දෙනා ඔබ කාට භාර දී ආවෙහි ද? කපටි දඟකාර කොලුවා! ඔබ මෙහි ආවේ යුද්ධය බලන පිණිස ය”යි කීවේ ය.</verse>
				<verse number="29">දාවිත් පිළිතුරු දෙමින්, “මම දැන් කුමක් කෙළෙම් ද? ප්‍රශ්නයක් ඇසුවා පමණක් නොවේ දැ”යි කියා,</verse>
				<verse number="30">ඔහු වෙතින් අනිකෙකු දෙසට හැරී ගොස් ඒ ප්‍රශ්නය ම ඇසුවේ ය. මිනිස්සු පළමු කී ලෙසට ම ඔහුට යළිත් උත්තර දුන්හ.</verse>
				<verse number="31">දාවිත් කී වචන ඇසූ සමහර මිනිස්සු සාවුල්ට එපවත් සැළ කළහ. සාවුල් ද ඔහු කැඳෙව්වේ ය.</verse>
				<verse number="32">දාවිත් සාවුල්ට කතා කොට, “රජතුමෙනි, කිසිවෙකු මේ පිලිස්තියයාට බිය නොවිය යුතු යි. ඔබේ මෙහෙකරුවා වන මම ගොස් මේ පිලිස්තියයා සමඟ සටන් කරමි”යි කී ය.</verse>
				<verse number="33">සාවුල් පිළිතුරු දෙමින්, “මේ පිලිස්තියයාට විරුද්ධ ව ගොස් ඔහු සමඟ සටන් කරන්නට ඔබට බැරි ය. මන්ද, ඔබ කොලු ගැටයෙකි. එහෙත්, ඔහු තරුණ වයසේ පටන් හේවායෙකු ව සිටින්නෙකැ”යි දාවිත්ට කී ය.</verse>
				<verse number="34">දාවිත් පිළිතුරු දෙමින් සාවුල්ට මෙසේ කී ය: “ඔබේ මෙහෙකරුවා වන මා, මාගේ පියාගේ බැටළුවන් බලාගෙන සිටිය දී සිංහයෙකු හෝ වලසෙකු හෝ අවුත් රැළෙන් බැටළුවෙකු ගත්තොත්,</verse>
				<verse number="35">මම ඌ පස්සේ ගොස්, ඌට පහර දී ඌගේ කටින් බැටළුවා ගළවාගන්නෙමි. ඌ මට කඩාපැන්න විට මම ඌ බෙල්ලෙන් අල්ලා ඌට පහර දී මරන්නෙමි.</verse>
				<verse number="36">ඔබේ මෙහෙකරුවා වන මම සිංහයන් ද වලසුන් ද මරා ඇත්තෙමි. ජීවමාන දෙවියන් වහන්සේගේ සේනාවලට නින්දා කළ මේ අචර්මඡේදිත පිලිස්තියයාටත් එසේ කරමි,</verse>
				<verse number="37">සිංහයාගේ නිය පහරින් ද වලසාගේ නිය පහරින් ද මා ගැළෙවු සමිඳාණන් වහන්සේ මේ පිලිස්තියයාගේ අතිනුත් මා ගළවන සේක.” සාවුල් කතා කොට, “යන්න. සමිඳාණන් වහන්සේ ඔබ සමඟ සිටින සේක් වා!”යි දාවිත්ට කී ය.</verse>
				<verse number="38">තවද, සාවුල් තමාගේ ඇඳුම් දාවිත්ට අඳවා, ඔහුගේ හිසේ ලෝකඩ තොප්පියක් දමා, යුද්ධ ඇඳුමක් ඔහුට පැළඳෙවුවේ ය.</verse>
				<verse number="39">දාවිත් ඒ ඇඳුමේ සාවුල්ගේ කඩුව බැඳගෙන ඇවිදින්නට උත්සාහ කෙළේ ය. එහෙත්, ඔහුට නුපුළුවන් විය. මන්ද, ඔහු ඒවා පැළඳ පුරුදු නැති නිසා ය. එවිට දාවිත් සාවුල්ට කතා කොට, “මට මේවා ඇඳ පුරුදු නැති බැවින් මේවා ඇඳගෙන යන්නට බැරි ය”යි කියා ඒවා ගලවා දමා,</verse>
				<verse number="40">තමාගේ සැරයටිය අතින් ගෙන, දොළෙන් සිනිඳු ගල් පහක් තෝරාගෙන, තමා ළඟ තිබුණ පසුම්බියක් වන එඬේර මල්ලේ ඒවා දමාගෙන, අතින් ගල් පටිය රැගෙන පිලිස්තියයා දෙසට යන්නට ගියේ ය.</verse>
				<verse number="41">පිලිස්තියයා පිටත් ව අවුත් දාවිත් දෙසට ගමන් කෙළේ ය. පලිහ ගෙන යන්නා ඔහුට පෙරටුව ආවේ ය.</verse>
				<verse number="42">පිලිස්තියයා දාවිත් දුටු විට ඔහුට ගැරහුම් කෙළේ ය. මන්ද, ඔහු රතු පැහැයක් ද කඩවසම් පෙනුමක් ද ඇති තරුණයෙකු වූ බැවිනි.</verse>
				<verse number="43">පිලිස්තියයා දාවිත්ට කතා කොට, “තෝ සැරයටිය රැගෙන මා ළඟට එන්නේ මා බල්ලෙකැ යි සිතා ද” කියා, තමාගේ දෙවියන්ගේ නාමයෙන් දාවිත්ට දෙස් කීවේ ය.</verse>
				<verse number="44">ඔහු තවදුරටත් කතා කරමින්, “මා ළඟට වර, මම තාගේ මස් ආකාශයේ පක්ෂීන්ටත්, වනයේ මෘගයන්ටත් දෙන්නෙමි”යි දාවිත්ට කීවේ ය.</verse>
				<verse number="45">එවිට දාවිත් පිළිතුරු දෙමින්, “තෝ කඩුවක් ද හෙල්ලයක් ද කුන්තයක් ද රැගෙන මා ළඟට එන්නෙහි ය. මම වනාහි තා නින්දා කළ ඉශ්රායෙල් හමුදාවල සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් තා ළඟට එමි.</verse>
				<verse number="46">අද දින සමිඳාණන් වහන්සේ තා මා අතට පාවා දෙන සේක; මම තට ගසා, තාගේ හිස කපා දමා, පිලිස්තිවරුන්ගේ මළකඳන් අද දවසේ ආකාශයේ පක්ෂීන්ට ද පොළොවේ වන මෘගයන්ට ද දෙන්නෙමි. මෙසේ ඉශ්රායෙල් කෙරෙහි දෙවි කෙනෙකුන් සිටින බව පොළොවේ සියල්ලන් ම දැනගනු ඇත.</verse>
				<verse number="47">ජය ගැනීමට සමිඳාණන් වහන්සේට කඩුවක් වත්, හෙල්ලයක් වත් වුවමනා නැති බව මුළු සමූහයා දැනගනු ඇත. සටන සමිඳාණන් වහන්සේගේ ය; උන් වහන්සේ ද ඔබ අප අතට පාවා දෙන සේකැ”යි පිලිස්තියයාට කී ය.</verse>
				<verse number="48">පිලිස්තියයා යළිත් දාවිත්ට විරුද්ධ ව ගමන් කෙළේ ය. දාවිත් විගසින් පිලිස්තියයාට විරුද්ධ ව සේනාව දෙසට දුව ගොස්,</verse>
				<verse number="49">මල්ලේ අත දමා එයින් ගලක් ගෙන, එය ගල් පටියෙන් විද්දේ ය. ඒ ගල පිලිස්තියයාගේ නළලට වැදී නළල ඇතුළට කා වැදුණේ ය. පිලිස්තියයා මුණින්තළා බිමට වැටිණි.</verse>
				<verse number="50">මෙසේ දාවිත් කඩුවක් නැති ව ගල් පටියෙන් ද ගලෙන් ද පිලිස්තියයාගෙන් ජයගෙන, ඔහුට පහර දී, ඔහු මැරුවේ ය.</verse>
				<verse number="51">එවිට දාවිත් දුව ගොස් පිලිස්තියයා ළඟ සිට ඔහුගේ කඩුව කොපුවෙන් ඇද, එයින් ඔහුගේ හිස ගසා දමා ඔහු මැරුවේ ය. පිලිස්තිවරු තමන්ගේ යෝධයා මළ බව දැක පලා ගියෝ ය.</verse>
				<verse number="52">ඉශ්රායෙල් සෙනඟ ද ජුදා සෙනඟ ද නැඟිට, ඔල්වර හඬ පවත්වා පිලිස්තිවරුන් ලුහුබැඳ ගායිට පැමිණෙන තැන දක්වාත් ඒක්‍රොන්හි දොරටුව දක්වාත් ගියහ. ෂාරයිම්ට යන මාර්ගය දිගට ගාත් දක්වා ද ඒක්‍රොන් දක්වා ද පිලිස්තිවරු මැරුම් කා වැටුණා හ.</verse>
				<verse number="53">ඉශ්රායෙල් ජනයා පිලිස්තිවරුන් ලුහුබැඳ එලවා දමා, හැරී අවුත් ඔවුන්ගේ කඳවුරු කොල්ලකාගත්තෝ ය.</verse>
				<verse number="54">දාවිත් පිලිස්තියයාගේ හිස රැගෙන ජෙරුසලමට පැමිණියේ ය; ඔහුගේ ආයුධ තමාගේ කූඩාරමේ තබාගත්තේ ය.</verse>
				<verse number="55">දාවිත් පිලිස්තිවරුන්ට විරුද්ධ ව පිටත් ව යන බව සාවුල් දැක, සේනාවේ අධිපතියා වන අබ්නේර්ට කතා කොට, “අබ්නේර්, මේ කොලු ගැටයා කාගේ පුත්‍රයා දැ”යි ඇසී ය. අබ්නේර් පිළිතුරු දෙමින්, “රජතුමනි, ඔබේ නාමයෙන් දිවුරා කියමි. මම ඒ ගැන කිසිත් නොදනිමි”යි කී ය.</verse>
				<verse number="56">රජතුමා ද, “මේ කොලු ගැටයා කාගේ පුත්‍රයා ද කියා සොයා බලන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="57">දාවිත් පිලිස්තියයා මරා දමා ආපසු හැරී එන කල අබ්නේර් ඔහු කැඳවාගෙන සාවුල් ඉදිරියට ගියේ ය. පිලිස්තියයාගේ හිස දාවිත්ගේ අතේ තිබිණි.</verse>
				<verse number="58">සාවුල් ඔහු අමතා, “තරුණය, ඔබ කාගේ පුත්‍රයා දැ”යි ඇසී ය. දාවිත් පිළිතුරු දෙමින්, “මම ඔබේ මෙහෙකරු වන, බෙත්ලෙහෙම්හි සිටින ජෙස්සේගේ පුත්‍රයෙක් වෙමි”යි කීවේ ය.</verse>
			</chapter>
			<chapter number="18">
				<verse number="1">දාවිත් සාවුල්ට කතා කොට නිම වූ කල ජොනතන්ගේ සිත දාවිත් දෙසට තදින් ඇදී ගොස්, ජොනතන් සිය පණට මෙන් දාවිත්ට ප්‍රේම කෙළේ ය.</verse>
				<verse number="2">ඒ දවසේ පටන් සාවුල්, දාවිත් තමා සමඟ නවතාගෙන ඔහුගේ පියාගේ ගෙදරට යන්නට ඔහුට ඉඩ නුදුන්නේ ය.</verse>
				<verse number="3">ජොනතන් සිය පණට මෙන් දාවිත්ට ප්‍රේම කළ බැවින් ඔහු සහ දාවිත් ගිවිසුමක් කරගත්හ.</verse>
				<verse number="4">ජොනතන් තමාගේ සළුව ගලවා ඒ සමඟ ඔහුගේ කඩුවත්, දුන්නත්, ඉඟපටියත් ඇතුළු ව තමාගේ යුද්ධ ඇඳුම ද දාවිත්ට දුන්නේ ය.</verse>
				<verse number="5">සාවුල් විසින් දාවිත් යවනු ලැබූ හැම කාර්යයක දී ම ඔහු ජයගත්තේ ය. සාවුල් ඔහු හේවායන් කෙරෙහි ප්‍රධානියා කෙළේ ය. මුළු සෙනඟ ද සාවුල්ගේ සේවකයෝ ද ඊට ප්‍රසන්න වූ හ.</verse>
				<verse number="6">දාවිත් පිලිස්තියයා මරා පෙරළා එන විට, ඉශ්රායෙල්හි සියලු නගරවලින් කාන්තාවෝ නික්ම ගායනා කරමින් ද නටමින් ද රබන් ගසමින් ද ප්‍රීති හඬ නඟමින් ද අත්තාලම් ගසමින් ද සාවුල් රජු හමු වීමට ආහ.</verse>
				<verse number="7">කාන්තාවෝ නට නටා ගී ගයමින්, “මැරී සාවුල් දහස් ගණනක්, මැරී දාවිත් දස දහස් ගණනක් ය”යි කී හ.</verse>
				<verse number="8">සාවුල් මේ කීමට අප්‍රසන්න ව ඉතා කෝප වී, “ ‘දාවිත් දස දහස් ගණන් මැරුවේ ය’යි ඔව්හු කියති; ‘සාවුල් දහස් ගණන් පමණක් මැරුවේ ය’යි කියති. දැන් ඔහුට ලැබෙන්නට ඉතිරි ව ඇත්තේ රජකම පමණකැ”යි කීවේ ය.</verse>
				<verse number="9">එදා පටන් සාවුල් දාවිත් දෙස බැලුවේ ඊර්ෂ්‍යා සහගත ඇසිණි.</verse>
				<verse number="10">පසු දා දෙවියන් වහන්සේගෙන් දුෂ්ටාත්මයක් සාවුල්ට ආවේශ විය. ඔහු නිවෙස ඇතුළේ පිස්සෙකු මෙන් දෙඩෙවුවේ ය. දාවිත් පෙර ලෙස වීණාව වාදනය කරන විට සාවුල්ගේ අතේ හෙල්ලයක් තිබිණි.</verse>
				<verse number="11">“මම දාවිත් බිත්තියට ම ඇණ තබමි”යි සිතා ඔහු හෙල්ලය දාවිත් දෙසට දෙවරක් විසි කෙළේ ය. දාවිත් අහකට පැන බේරුණේ ය.</verse>
				<verse number="12">සමිඳාණන් වහන්සේ දාවිත් සමඟ වැඩ සිටි නිසාත්, සාවුල්ගෙන් පහ ව වැඩිය නිසාත් සාවුල් දාවිත්ට බිය විය.</verse>
				<verse number="13">ඒ නිසා සාවුල් තමා වෙතින් දාවිත් අහක් කොට, ඔහු සහශ්‍රාධිපතියෙකු කෙළේ ය. දාවිත් මූලිකත්වය දරා සෙනඟ කැටුව සටනට ගියේ ය.</verse>
				<verse number="14">සමිඳාණන් වහන්සේ ඔහු සමඟ වැඩ සිටි නිසා ඔහු කළ හැම දේ සාර්ථක විය.</verse>
				<verse number="15">දාවිත් ජයගන්න බව සාවුල් දැක වඩ වඩා ඔහුට බිය විය.</verse>
				<verse number="16">එහෙත්, මුළු ඉශ්රායෙල් ජනයා ද ජුදා වැසියෝ ද දාවිත් ජයග්‍රාහී මූලිකයෙකු වූ බැවින් ඔහුට ප්‍රේම කළහ.</verse>
				<verse number="17">සාවුල් දාවිත්ට කතා කොට, “මෙන්න, මාගේ වැඩිමහල් දුව වන මේරබ් ඔබට භාර්යාව කොට දෙන්නෙමි. ඔබ මා උදෙසා වික්‍රමාන්විත ව සමිඳාණන් වහන්සේගේ යුද්ධවල සටන් කරන්නැ”යි කීවේ ය. සාවුල් එසේ කීවේ, ‘දාවිත් ඔහුගේ අතින් නොව පිලිස්තිවරුන්ගේ අතින් මරනු ලැබිය යුතු ය’යි අදහස් කළ බැවිනි.</verse>
				<verse number="18">දාවිත් සාවුල්ට පිළිතුරු දෙමින්, “රජතුමාණන්ට බෑණා වන්නට මම කවරෙක් ද? ඉශ්රායෙල්හි සිටින මාගේ පියාගේ වංශයටත්, මාගේ ඥාතීන්ටත් ඇති වැදගත්කම කුමක් දැ”යි ඇසුවේ ය.</verse>
				<verse number="19">එහෙත්, සාවුල්ගේ දුව වන මේරබ් දාවිත්ට පාවා දෙන්නට නිසි කාලය පැමිණි විට, ඈ මෙහොලාතියේ වැසියෙකු වන අද්‍රියෙල්ට භාර්යාව කොට දෙන ලද්දී ය.</verse>
				<verse number="20">ඒ අතරතුරේ දී සාවුල්ගේ දුව මීකල් දාවිත්ට ආදරේ වූවා ය. ඒ බව සාවුල්ට දන්වන ලද්දේ ය. සාවුල් ඒ ගැන ප්‍රීති විය.</verse>
				<verse number="21">එවිට සාවුල්, “මම මීකල් දාවිත්ට දෙන්නෙමි. ඈ උගුලක් අටවා පිලිස්තිවරුන් ලවා ඔහු මරවනු ඇතැ”යි අදහස් කරගෙන, දෙ වන වතාවටත් දාවිත්ට කතා කොට, “ඔබ අද මාගේ බෑණා වන්නට ඕනෑ ය”යි කීවේ ය.</verse>
				<verse number="22">සාවුල් තමාගේ සේවකයන්ට අණ කරමින්, “දාවිත් සමඟ රහසින් කතා කොට, රජ්ජුරුවෝ ඔබ කෙරෙහි ප්‍රිය මනාප ය. එතුමන්ගේ සියලු සේවකයෝ ද ඔබට කැමැති ය; එබැවින් රජ්ජුරුවන්ගේ බෑණා වන්න කියා කියන්නැ”යි කී ය.</verse>
				<verse number="23">සාවුල්ගේ සේවකයෝ එපවත් දාවිත්ට සැළ කළහ. දාවිත් පිළිතුරු දෙමින්, “මම නම් වැදගැම්මක් නැති දිළිඳු කෙනෙක්මි. ඉතින් රජ්ජුරුවන්ගේ බෑණා වීම සුළුපටු දෙයක් නොවන බව ඔබට පෙනෙනු ඇතැ”යි කීවේ ය.</verse>
				<verse number="24">සාවුල්ගේ සේවකයෝ දාවිත් කී දේ ඔහුට දැන්නූ හ.</verse>
				<verse number="25">එවිට සාවුල් සේවකයන්ට අණ කරමින්, “රජ්ජුරුවන්ගේ සතුරන්ගෙන් පළිගන්න පිණිස පිලිස්තිවරුන් සිය දෙනෙකුගේ චර්මාග්‍ර මිස රජ්ජුරුවන්ට අන් කිසි දායාදයක් වුවමනා නැත කියා දාවිත්ට කියන්නැ”යි කී ය. සාවුල් පිලිස්තිවරුන්ගේ අතින් දාවිත් මරවන්නට අදහස් කෙළේ මේ අයුරින් ය.</verse>
				<verse number="26">ඔහුගේ සේවකයන් මේ බව දාවිත්ට දැන්වූ කල දාවිත්, සාවුල් රජුගේ බෑණා වන්නට සතුටු විය. නියමිත කාලය ගත වන්නට පෙර,</verse>
				<verse number="27">දාවිත් ඔහුගේ සෙනඟ සමඟ නික්ම ගොස්, පිලිස්තිවරුන්ගෙන් මිනිසුන් දෙසියයක් මැරී ය. දාවිත් ඔවුන්ගේ චර්මාග්‍ර ගෙන ගොස්, ඔහු රජුගේ බෑණා වීමේ අයිතිය ලබන පිණිස ඒවා රජු ඉදිරියෙහි ගණන් කොට තැබුවේ ය. එවිට සාවුල් තමාගේ දුව මීකල් ඔහුට භාර්යාව කොට පාවා දුන්නේ ය.</verse>
				<verse number="28">සමිඳාණන් වහන්සේ දාවිත් සමඟ සිටින බවත්, මුළු ඉශ්රායෙල් ජනයා ඔහුට ප්‍රිය බවත් සාවුල්ට හැඟී ගියේ ය.</verse>
				<verse number="29">ඒ නිසා සාවුල් වඩ වඩාත් දාවිත්ට භය වුණේ ය. සාවුල් ජීවිතාන්තය දක්වා ම දාවිත්ට වෛර කෙළේ ය.</verse>
				<verse number="30">පිලිස්තිවරුන්ගේ අධිපතීහු වරින් වර සටනට පැමිණියහ. ඔවුන් පැමිණි සෑම අවස්ථාවක දී ම දාවිත් සාවුල්ගේ සියලු සේවකයන්ට වඩා උසස් ලෙස ජය ගත්තේ ය. ඒ නිසා ඔහු ඉතා කීර්තිමත් කෙනෙක් විය.</verse>
			</chapter>
			<chapter number="19">
				<verse number="1">දාවිත් මරන ලෙස සාවුල් තම පුත් ජොනතන්ටත්, තමාගේ සියලු සේවකයන්ටත් කීවේ ය. එහෙත්, සාවුල්ගේ පුත් ජොනතන් දාවිත්ට බොහෝ සේ ප්‍රේම කෙළේ ය.</verse>
				<verse number="2">ඔහු දාවිත්ට කතා කොට, “මාගේ පියා වන සාවුල් ඔබ මරන්නට සොයන්නේ ය. ඒ නිසා හෙට උදේ ප්‍රවේසම් වී රහසේ සැඟවී සිටින්න.</verse>
				<verse number="3">ඔබ සිටින කෙතෙහි මාගේ පියා ළඟට පැමිණ ඔබ ගැන මාගේ පියා සමඟ කතා කරන්නෙමි. ඔබට දන්වන්න යම් කරුණක් ඇත්නම් මම ඔබට දන්වන්නෙමි”යි දාවිත්ට කීවේ ය.</verse>
				<verse number="4">ජොනතන් තම පිය සාවුල්ට දාවිත්ගේ ගුණ වර්ණනා කරමින් මෙසේ කී ය: “පිය රජතුමෙනි, ඔබේ සේවකයා වන දාවිත්ට විරුද්ධ ව පව් නොකරන්න. මන්ද, ඔහු ඔබට විරුද්ධ ව පව් කෙළේ නැත. ඇරත් ඔහු කළ හැම ක්‍රියාවක් ම ඔබට ඉතා ප්‍රයෝජනවත් විය.</verse>
				<verse number="5">ඔහු සිය දිවිත් නොතකා ගොස් අර පිලිස්තියයා මැරුවේ ය. එයින් සමිඳාණන් වහන්සේ සියලු ඉශ්රායෙල්වරුන්ට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දුන් සේක. ඔබ එය දැක ප්‍රීති වූයෙහි ය. එබැවින් නිකරුණේ දාවිත් මරා නිදොස් ලේ වැගිරීමෙන් ඔබ පව් කරන්නට හදන්නේ මන් ද?”</verse>
				<verse number="6">සාවුල් ජොනතන්ගේ බසට ඇහුම්කන් දී, ඔහු දාවිත් නොමරන බව සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කීවේ ය.</verse>
				<verse number="7">ජොනතන් දාවිත්ට අඬගසා ඒ සියල්ල ඔහුට දන්වා, සාවුල් ළඟට ඔහු කැඳවාගෙන ගියේ ය. දාවිත් ද පෙර ලෙස සාවුල් ඉදිරියෙහි සේවය කෙළේ ය.</verse>
				<verse number="8">නැවතත් යුද්ධයක් ඇති විය. දාවිත් පිටත් ව ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධ ව යුද්ධ කොට ඔවුන් අතරේ මහා විනාශයක් කෙළේ ය. ඔව්හු ද ඔහු ඉදිරියෙන් පලා ගියහ.</verse>
				<verse number="9">දිනක් සාවුල් තමාගේ හෙල්ලය අතේ තබාගෙන නිවෙසේ හිඳින අතර සමිඳාණන් වහන්සේ එවූ දුෂ්ටාත්මයක් ඔහුට ආවේශ විය. දාවිත් තමාගේ වීණාව වාදනය කරමින් සිටියේ ය.</verse>
				<verse number="10">දාවිත් බිත්තියට ඇණ තබන අදහසින් සාවුල් හෙල්ලයෙන් දාවිත්ට අනින්නට උත්සාහ කෙළේ ය. එහෙත්, දාවිත් සාවුල් ඉදිරියෙන් අහකට පැන්නේ ය; හෙල්ලය බිත්තියට වැදුණේ ය. දාවිත් පලා ගොස් පණ බේරාගත්තේ ය.</verse>
				<verse number="11">එදා රෑ සාවුල්, දාවිත්ගේ නිවෙස මුර තියා පසු දින උදේ ඔහු මරන පිණිස සේවකයන් සමහර දෙනෙකු යැවී ය. මීකල් ඒ ගැන දාවිත්ට දන්වමින්, “අද රාත්‍රියේ ඔබේ පණ බේරා නොගත්තොත්, හෙට ඔබ මරනු ලබනු ඇතැ”යි ඔහුට කීවා ය.</verse>
				<verse number="12">මීකල් ද දාවිත් කවුළුවෙන් පහළට බැස්සුවා ය. එවිට ඔහු ද පලා ගොස් ගැළවුණේ ය.</verse>
				<verse number="13">මීකල් තෙරපීම් රූපය රැගෙන ඇඳේ තබා, ඒකේ හිසට එළු ලොම් කොට්ටයක් තබා, එය රෙදිවලින් වැසුවා ය.</verse>
				<verse number="14">දාවිත් අල්ලාගෙන යන්නට සාවුල් එවූ සේවකයන් පැමිණි කල, “ඔහු ලෙඩින් ය”යි ඈ කීවා ය.</verse>
				<verse number="15">ඔවුන්ගේ ඇසින් දාවිත් බලන පිණිස සාවුල් නැවතත් සේවකයන් යවා, ඔහු මරා දැමීම පිණිස, “ඇඳ පිටින් ඔහු මා වෙත ගෙනෙන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="16">ඒ සේවකයෝ ගේ ඇතුළට ගිය කල, හිසට තබා තිබුණ එළු ලොම් කොට්ටය සමඟ තෙරපීම් රූපය ඇඳේ තිබෙන බව දුටුහ.</verse>
				<verse number="17">සාවුල් මීකල්ට කතා කොට, “ඔබ මෙසේ මා රවටා, මාගේ සතුරාට ගැළවී යන්නට ඉඩ හැරියේ මන්දැ”යි ඇසී ය. මීකල් උත්තර දෙමින්, “ ‘ඔබ මට බේරී යන්නට උදව් නොකළොත් මම ඔබ මරන්නෙමි’යි ඔහු මට කී නිසා ය”යි කීවා ය.</verse>
				<verse number="18">දාවිත් ගැළවී පලා ගොස් රාමාහි සිටි සාමුවෙල් වෙත පැමිණ, සාවුල් තමාට කළ සියල්ල දැන්නුවේ ය. එවිට දාවිත් සහ සාමුවෙල් නායොත්ට ගොස් එහි විසූ හ.</verse>
				<verse number="19">“දාවිත් රාමායේ නායොත්හි සිටින්නේ ය”යි සාවුල්ට දන්වන ලද්දේ ය.</verse>
				<verse number="20">දාවිත් අල්ලාගෙන එන පිණිස සාවුල් මිනිසුන් යැවී ය. ඔවුන් එහි පැමිණි කල්හි, දිවැස් වැකි පවසමින් සිටි දිවැසිවරුන් මණ්ඩලය ද සාමුවෙල් ඔවුන්ගේ මූලිකයා ව ද සිටින බව දුටු විට, දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය සාවුල් එවූ මිනිසුන් කෙරෙහි පැමුණුණේ ය. ඔව්හු ද දිවැස් වැකි පැවසුවෝ ය.</verse>
				<verse number="21">ඒ බව සාවුල්ට දැන්වූ කල, ඔහු වෙන සේවකයන් යැවී ය. ඔව්හු ද දිවැස් වැකි පැවසූ හ. සාවුල් නැවතත් තුන් වන වර සේවකයන් යැවී ය; ඔව්හු ද දිවැස් වැකි පැවසූ හ.</verse>
				<verse number="22">එවිට සාවුල් ද රාමාට ගොස් සේකුහි තිබෙන මහ ළිඳ ළඟට පැමිණ, “සාමුවෙල් සහ දාවිත් මෙතැන සිටිත් දැ”යි ඇසී ය. “අන්න, ඔව්හු රාමායේ නායොත්හි සිටිති”යි කෙනෙක් ඔහුට කීවේ ය.</verse>
				<verse number="23">සාවුල් රාමායේ නායොත්ට ගියේ ය. ඔහු මෙසේ යන අතර දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු කෙරෙහි ද පහළ විය. ඔහු රාමායේ නායොත්ට පැමිණෙන තුරු දිවැස් වැකි පවස පවසා ගියේ ය.</verse>
				<verse number="24">ඔහු තමාගේ ඇඳුම් ගලවා දමා, සාමුවෙල් ඉදිරියෙහි දිවැස් වැකි පවසා, ඒ මුළු දවාලේත්, ඒ මුළු රාත්‍රියේත් නග්න ව වැටී සිටියේ ය. “සාවුලුත් දිවැසිවරයන් අතරේ දැ”යි යන කීම ඇති වූයේ මෙසේ ය.</verse>
			</chapter>
			<chapter number="20">
				<verse number="1">දාවිත් රාමායේ වූ නායොත්හි සිට පලා ගොස් ජොනතන් ළඟට පැමිණ, “ඔබේ පියාණන් මා මරන්නට සොයන්නේ මා කුමක් කළ නිසා ද? මාගේ අපරාධය කිමෙක් ද? ඔහුට විරුද්ධ ව මා කළ පාපය කුමක් දැ”යි ඇසුවේ ය.</verse>
				<verse number="2">ජොනතන් පිළිතුරු දෙමින්, “එවැන්නක් සිද්ධ නොවේ වා! ඔබ නොනසින්නෙහි ය. මාගේ පියා මට නොදන්වා ලොකු හෝ කුඩා හෝ කිසි දෙයක් නොකරන්නේ ය. එබැවින් මාගේ පියා මේ කාරණය මාගෙන් සඟවන්න වුවමනාවක් තිබේ ද? ‘මාගේ පියා ඔබ මරන්නට ඉන්නේ ය’ යන කීමේ සත්‍යයක් නැතැ”යි කීවේ ය.</verse>
				<verse number="3">දාවිත් පිළිතුරු දෙමින්, “ඔබ මට ප්‍රේම කරන බව පියා හොඳාකාරයෙන් දන්නේ ය. ඒ නිසා ඔබේ සිත නොරිදවන පිණිස ඔහු මට කරන්න යන දෙය ඔබෙන් සඟවා ඇත. සැබැවින් ම මාත්, මරණයත් අතරේ ඇත්තේ එක මොහොතක් පමණ යයි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ඔබේ නාමයෙන් ද ඔබට දිවුරා කියමි”යි කීවේ ය.</verse>
				<verse number="4">ජොනතන් ද, “ඔබ කැමැති කොයි දෙයක් වුවත් ඔබ උදෙසා කරන්නෙමි”යි කී ය.</verse>
				<verse number="5">දාවිත් ජොනතන් අමතා මෙසේ කීවේ ය: “හෙට අමාවක බැවින් මා නොවරදවා ම රජ්ජුරුවන් සමඟ කෑම වැළඳිය යුතු ව තිබේ. එහෙත්, තුන් වන දා සවස වන තුරු කෙතේ සැඟවී සිටින්නට මට යන්නට ඉඩ දෙන්න.</verse>
				<verse number="6">ඉදින් මා කොහේ ද කියා ඔබේ පියා ඇසුවොත්, ‘ඔහු තමාගේ නුවර වන බෙත්ලෙහෙමේ සිටින මුළු පවුල උදෙසා අවුරුදු පතා පූජා ඔප්පු කරන බැවින්, එහි ගොස් එන්නට උදක්ම මාගෙන් අවසර ඉල්ලා සිටියේ ය’යි කියන්න.</verse>
				<verse number="7">ඉතින් ඔහු, ‘හොඳයි’ කීවොත්, ඔබේ මෙහෙකරු වන මට අනතුරක් නොවන බව එයින් පෙනෙනු ඇත. එහෙත්, ඔහු කිපුණොත්, ඔහු මට නපුරක් කරන්නට අදහස් කරගෙන සිටින බව එයින් පෙනෙනු ඇත.</verse>
				<verse number="8">ඒ නිසා කරුණා කොට ඔබේ මෙහෙකරුවා වන මට මේ උපකාරය කර මා සමඟ ඔබේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ කළ ගිවිසුම පවත්වන්න. එහෙත්, මා අතේ වරදක් ඇත්නම්, ඔබ ම මා මරන්න. ඔබේ පියා වෙත මා ගෙනයන්නේ කුමට ද?”</verse>
				<verse number="9">ජොනතන් ඊට පිළිතුරු දෙමින්, “ඔබට එසේ නොවේ වා! ඔබට නපුරක් කරන්නට මාගේ පියා අදහස් කර සිටින බව මා ඇත්තට ම දන්නවා නම්, මා එය ඔබට දන්වන්නේ නැද්දැ”යි කී ය.</verse>
				<verse number="10">එවිට, දාවිත්, “ඔබේ පියාණන් ඔබට උදහසින් උත්තර දුන්නොත් ඒ බව මට දන්වන්නේ කවරෙක් දැ”යි ජොනතන්ගෙන් ඇසී ය.</verse>
				<verse number="11">ජොනතන් ද, “එන්න අපි කෙතට යමු”යි දාවිත්ට කී ය. ඔවුන් දෙදෙන ම කෙතට ගියහ.</verse>
				<verse number="12">ජොනතන් දාවිත් අමතා මෙසේ කීවේ ය: “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අපේ සාක්ෂිකාරයාණෝ වන සේක් වා! හෙට හෝ අනිද්දා හෝ මේ වේලාවට පමණ මාගේ පියාගේ අදහස මා සොයා දැනගත් පසු, දාවිත්ට හොඳක් වන්නට තිබේ නම්, ඒ බව දන්වන පිණිස මම ඔබ වෙත පණිවුඩයක් එවන්නෙමි.</verse>
				<verse number="13">මාගේ පියා ඔබට නපුරක් කරන්නට අදහස් කර ඇත්නම්, ඔබ සාමදානයෙන් යන පිණිස මා ඒ බව ඔබට දන්වා ඔබ පිටත් කර නොහැරියොත්, සමිඳාණන් වහන්සේ ඉතා දරුණු ලෙස මට දඬුවම් කරන සේක් වා! සමිඳාණන් වහන්සේ මාගේ පියා සමඟ වැඩ සිටියාක් මෙන් ඔබ සමඟත් වැඩ සිටින සේක.</verse>
				<verse number="14">මා ජීවත් ව සිටිනවා නම්, මා නොනසින පිණිස සමිඳාණන් වහන්සේගේ දයා ප්‍රේමය මට දක්වන්න.</verse>
				<verse number="15">මා මැරුණොත්, මාගේ පවුලේ ඥාතීන් කෙරෙහි ඔබේ කරුණාව කවදාවත් පහ නොකරන්න. එසේ ය, සමිඳාණන් වහන්සේ දාවිත්ගේ සතුරන් එකිනෙකා මිහි පිටින් සිඳ දැමූ පසුත්,</verse>
				<verse number="16">ඔබත් මාත් අතර කළ ගිවිසුම නොකැඩී පවතී වා. එය කඩ කරනු ලැබුවොත්, සමිඳාණන් වහන්සේ ඔබට දඬුවම් කරන සේක.”</verse>
				<verse number="17">මෙසේ කී පසු දාවිත් තමාට ප්‍රේම කරන බවට ජොනතන් යළිත් ඔහුගෙන් දිවුරුම් ගත්තේ ය. එසේ කෙළේ, ජොනතන් සිය පණට මෙන් දාවිත්ට ප්‍රේම කළ නිසා ය.</verse>
				<verse number="18">ඉන්පසු ජොනතන් දාවිත්ට මෙසේ කීවේ ය: “හෙට අමාවක් දවස ය; ඔබේ ආසනය හිස් ව තිබුණොත්, ඔබ එහි නැති බව පෙනෙන්නේ ය.</verse>
				<verse number="19">අනිද්දා ඔබේ නොපැමිණීම වඩා හොඳට කැපී පෙනෙනු ඇත. ඒ නිසා ඔබ කලින් සැඟවී සිටි ස්ථානයට ගොස් එහි ඇති ගල් ගොඩ පිටුපස්සේ සැඟවී සිටින්න.</verse>
				<verse number="20">එවිට මම ඉලක්කයකට විදින්නාක් මෙන් එහි පැත්තකට ඊගස් තුනක් විදින්නෙමි.</verse>
				<verse number="21">ඉන්පසු ඊගස් සොයාගෙන එන පිණිස මාගේ සේවකයා යවන්නෙමි. මා සේවකයා අමතා ‘බලන්න, ඊගස් ඇත්තේ ඔබට මේ පැත්තෙන් ය; ඒවා ගන්නැ’යි කීවොත්, එයින් අදහස් කරන්නේ ඔබට අනතුරක් නැති බව ය. එබැවින් ඔබට පිට වී ආ හැකි ය. ඔබ කිසි අනතුරකට නොවැටෙන බවට සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම දිවුරා කියමි.</verse>
				<verse number="22">එහෙත්, සේවකයා අමතා, ‘ඊගස් ඇත්තේ ඔබට එහා පැත්තෙන් ය’යි කීවොත් පලා යන්න. මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ පිටත් කර යවන සේක.</verse>
				<verse number="23">ඔබත් මාත් අතර කළ ගිවිසුම පිළිබඳ ව නම් එය සදහට ම පවතින බවට සමිඳාණන් වහන්සේ වග බලාගන්න සේක.”</verse>
				<verse number="24">ඔවුන් කතා කරගත් ලෙස දාවිත් කෙතෙහි සැඟවුණේ ය. අමාවක දවස පැමිණි විට රජතුමා කෑම කන්නට හිඳගත්තේ ය.</verse>
				<verse number="25">වෙන දා මෙන් ඔහු බිත්තිය ළඟ තමාගේ ආසනයෙහි හිඳගත්තේ ය. ජොනතන් රජු ඉදිරියෙන් ද අබ්නේර් රජුගේ පැත්තකින් ද හිඳගත්හ. දාවිත්ගේ අසුන හිස් ව තිබිණි.</verse>
				<verse number="26">එහෙත්, සාවුල් ඒ දවසේ දී කිසිවක් කීවේ නැත. මන්ද, ‘යම් දෙයක් සිදු වීම හේතුකොටගෙන ඔහු කිසි සේත් පවිත්‍ර නැතැ’යි කල්පනා කළ බැවිනි.</verse>
				<verse number="27">අමාවකට පසු දිනත්, දෙ වන දිනත් දාවිත්ගේ අසුන හිස් ව තිබිණි. සාවුල් තම පුත් ජොනතන්ට කතා කොට, “ජෙස්සේගේ පුත්‍රයා ඊයෙත් අදත් කෑමට නාවේ මන්දැ”යි ඇසුවේ ය.</verse>
				<verse number="28">ජොනතන් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “දාවිත් බෙත්ලෙහෙමට යන පිණිස බැගෑපත් ව මාගෙන් අවසර ඉල්ලමින්,</verse>
				<verse number="29">‘මට යන්න අවසර දුන මැනව; මන්ද, ඒ නුවර අපේ පවුලේ පූජාවක් ඇත්තේ ය; මාගේ සහෝදරයා ද එහි එන්න මට අණ කෙළේ ය; එබැවින් ඔබේ ඇස් හමුවෙහි මට කරුණාව ලැබී ඇත්නම්, මාගේ සහෝදරයන් දකින පිණිස මට අවසර ලැබේවා’යි අයැද සිටියේ ය. ඔහු රජ්ජුරුවන්ගේ මේසයට නාවේ ඒ නිසා ය.”</verse>
				<verse number="30">එවිට සාවුල්ගේ කෝපය ජොනතන්ට විරුද්ධ ව ඇවිළ, “හිතුවක්කාර, අනාචාර ස්ත්‍රියකගේ පුත්‍රය, ඔබ ඔබට ලජ්ජාවත්, ඔබේ මෑණියන්ට ලජ්ජාව හා අගෞරවයත් පැමිණෙන ලෙස ජෙස්සේගේ පුත්‍රයා කෙරෙහි ඇලුම් ව සිටින බව මා දන්නේ නැද් ද?</verse>
				<verse number="31">ජෙස්සේගේ පුත්‍රයා මිහි පිට ජීවත් ව සිටින තුරු ඔබ වත්, ඔබේ රජකම වත් ආරක්ෂා සහිත නැත. එබැවින් දැන් මිනිසුන් යවා ඔහු මා වෙත ගෙන්වන්න; සැබැවින් ඔහු මරනු ලබන්නේ ය”යි කීවේ ය.</verse>
				<verse number="32">ජොනතන් තම පිය සාවුල්ට උත්තර දෙමින්, “ඔහු මැරිය යුත්තේ මන් ද? ඔහු කළ වරද කුමක් දැ”යි ඇසී ය.</verse>
				<verse number="33">එවිට සාවුල් ඔහුට අනින පිණිස ඔහු දෙසට හෙල්ලය වීසි කෙළේ ය. තම පියා දාවිත් මරන්නට නියම කරගෙන සිටින බව එයින් ජොනතන් තේරුම්ගත්තේ ය.</verse>
				<verse number="34">ජොනතන් කෝපයෙන් දිළිහෙමින් මේසයෙන් නැඟිට ගොස් අමාවක දෙ වන දින වන එදා කෑම නොකා සිටියේ ය. තමාගේ පියා දාවිත්ට අගෞරව කළ බැවින් ඔහු දාවිත් ගැන ශෝක වුණේ ය.</verse>
				<verse number="35">පසු දින උදෑසන ජොනතන් දාවිත් සමඟ නියම කරගත් වේලාවේ දී කුඩා ළමයෙකු සමඟ කෙතට ගියේ ය.</verse>
				<verse number="36">ඔහු ළමයාට කතා කොට, “ඔබ දුව ගොස් මා විදින ඊගස් සොයාගෙන එන්නැ”යි කියා ළමයා දුවද්දී ඔහුට එහායින් ඊගසක් විද්දේ ය.</verse>
				<verse number="37">ජොනතන් ඊගස විද්ද තැනට ළමයා පැමුණුණ කල ජොනතන් ළමයාට මොරගසා, “ඊගස ඔබට එහායින් තිබෙනවා නොවේ දැ”යි කීවේ ය.</verse>
				<verse number="38">යළිත් ජොනතන් ළමයාට මොරගසා, “කඩිසර වී ඉක්මන් වන්න; ප්‍රමාද වන්නට එපා”යි කී ය. ළමයා ද ඊගස අහුලාගෙන තමාගේ ස්වාමියා ළඟට ආවේ ය.</verse>
				<verse number="39">ඒ සිද්ධියේ තේරුම කුමක් දැ යි ළමයා දැන නොගත්තේ ය. ජොනතන් හා දාවිත් පමණක් එය දැනගෙන සිටියහ.</verse>
				<verse number="40">ජොනතන් තමාගේ ආයුධ ළමයාට දී, “ඒවා නුවරට ගෙන යන්නැ”යි ඔහුට කීවේ ය.</verse>
				<verse number="41">ළමයා ගිය පසු දාවිත් ගල් ගොඩ පිටුපසින් නික්ම අවුත් මුණින්තළා වී තුන්වරක් වැන්දේ ය. දාවිත් සහ ජොනතන් එකිනෙකා සිඹගෙන කඳුළු වගුරුවා ඇඬූ හ. දාවිත්ගේ ශෝකය ජොනතන්ගේ ශෝකයට වඩා අධික විය.</verse>
				<verse number="42">ජොනතන් දාවිත්ට කතා කොට, “ඔබ ද මා ද ඔබේ පරම්පරාව ද මාගේ පරම්පරාව ද අප දෙදෙනා අතරේ කරගත් ගිවිසුම සදහට ම පවතින ලෙස සමිඳාණන් වහන්සේ සහතික කරන සේකැ”යි කී ය. එවිට දාවිත් නැඟිට පිටත් ව ගියේ ය. ජොනතන් ආපසු නුවරට ගියේ ය.</verse>
			</chapter>
			<chapter number="21">
				<verse number="1">දාවිත් නොබ්හි අහිමෙලෙක් නම් පූජකයා වෙත පැමිණියේ ය. අහිමෙලෙක් දාවිත් සමුවන්නට වෙවුලමින් අවුත්, “කිසිවෙකු ඔබ සමඟ නැතිව ඔබ මෙහි තනියම ආවේ මන්දැ”යි ඔහුගෙන් ඇසුවේ ය.</verse>
				<verse number="2">දාවිත් පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන්ගේ කටයුත්තක් සඳහා මම මෙහි ආවෙමි. එතුමා මා එවුවේ මන්දැ යි කිසිවෙකු දැන නොගන්න ලෙස වගබලා ගන්නැ යි මට අණ කෙළේ ය. මිනිසුන් සම්බන්ධයෙන් නම්, මා නියම කළ ස්ථානයක මා හමු වන්නැ යි මම ඔවුන්ට කීවෙමි.</verse>
				<verse number="3">දැන් ඔබ ළඟ තිබෙන්නේ මොනවා ද? මට රොටි පහක් හෝ වෙන තිබෙන දෙයක් හෝ දුන මැනවැ”යි අහිමෙලෙක් නම් පූජකයාට කීවේ ය.</verse>
				<verse number="4">පූජක තෙම දාවිත්ට පිළිතුරු දෙමින්, “ශුද්ධ රොටි මිස වෙන රොටි මා ළඟ නැත: සේවකයෝ ස්ත්‍රී සේවනයෙන් වැළකී සිටියෝ නම්, ඒවා දෙන්නට පුළුවනැ”යි කීවේ ය.</verse>
				<verse number="5">දාවිත් ඔහුට පිළිතුරු දෙමින්, “සැබැවින් ම අපි යම් ව්‍යාපාරයකට එළඹෙන විට ස්ත්‍රීහු අපෙන් වෙන් ව සිටිති. සාමාන්‍ය ව්‍යාපාරයක වුව ද සේවකයන්ගේ ශරීරය ශුද්ධ ව තිබෙන්නේ ය. එසේ නම්, ඊට වඩා කොපමණ වැඩියෙන් අද ඔවුන්ගේ ශරීරය ශුද්ධ නොවන්නේ දැ”යි ඔහුට කීවේ ය.</verse>
				<verse number="6">එවිට සමිඳාණන් වහන්සේ ඉදිරියෙන් අහකට ගන්න ලද පිදුම් රොටි මිස වෙන රොටි එහි නොතිබුණ බැවින් පූජකයා ශුද්ධ රොටි ඔහුට දුන්නේ ය. ඒවා අහකට ගන්න ලද්දේ, එම දවසේ දී ම ඒවා වෙනුවට උණු රොටි තබන පිණිස ය.</verse>
				<verse number="7">තවද, ඒ දවසේ දී සාවුල්ගේ වැඩකාරයන්ගෙන් එක් කෙනෙකු වූ ඔහුගේ එඬේරුන්ගේ ප්‍රධානියා වන දොවෙග් නම් ඒදොම් වැසියෙකු වන මිනිසෙක් ආගමික යුතුකමක් ඉටු කරන පිණිස එහි නැවතී සිටියේ ය.</verse>
				<verse number="8">දාවිත් අහිමෙලෙක්ට කතා කොට, “මට දෙන්නට ඔබ ළඟ හෙල්ලයක් හෝ කඩුවක් හෝ තිබේ ද? රජ්ජුරුවන්ගේ අණ පරිදි නොපමා ව පිටත්වන්නට සිදු වුණ බැවින් කඩුවක් වත්, ආයුධයක් වත් මම නොගෙනාවෙමි”යි කීවේ ය.</verse>
				<verse number="9">පූජක තෙම පිළිතුරු දෙමින්, “ඔබ ඒලා මිටියාවතේ දී මැරූ පිලිස්තියයා වූ ගොලියත්ගේ කඩුව මා ළඟ ඇත. එය රෙද්දකින් ඔතා ඒපොද් සැට්ටයට එහායින් තබා තිබේ. ඒක ගන්නට කැමැති නම් අරගන්න. ඒක මිස අන් කඩුවක් නැතැ”යි කීවේ ය. දාවිත් පිළිතුරු දෙමින්, “ඊට සමාන අන් කඩුවක් නැත, ඒක මට දෙන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="10">දාවිත් පිටත් වී සාවුල්ට බියෙන් ඒ දවසේ පලා ගොස් ගාත්හි රජ වූ ආකීෂ් වෙත පැමිණියේ ය.</verse>
				<verse number="11">ආකීෂ්ගේ සේවකයෝ රජු අමතා, “මොහු සිය දේශයෙහි රජ වූ දාවිත් නොවේ ද? ‘මැරී සාවුල්, දහස් ගණනක් මැරී දාවිත් දස දහස් ගණනක් යැ’යි කියමින් ස්ත්‍රීන් නටමින් එකිනෙකාට ගී කීවේ මොහු ගැන නොවේ දැ”යි කීවෝ ය.</verse>
				<verse number="12">දාවිත් ඒ වචන සිතට ගෙන ගාත්හි රජ වූ ආකීෂ්ට බොහෝ සේ බිය විය.</verse>
				<verse number="13">ඒ නිසා ඔහු ඔවුන් ඉදිරියෙහි ඔල්මාද වූවෙකු මෙන් හැසිරිණි; ඔවුන් ඔහු දමනය කරන්නට උත්සාහ කරන විට ඔහු පිස්සෙකු මෙන් ක්‍රියා කෙළේ ය; වාසල් දොර පහුරු ගෑවේ ය; තමාගේ කෙළ රැවුල දිගේ වැගිරෙන්න හැරියේ ය.</verse>
				<verse number="14">එවිට ආකීෂ් තමාගේ සේවකයන්ට කතා කොට, “මේ මිනිසා පිස්සෙකු බව ඔබට පෙනෙන්නේ නැද් ද? ඔබ ඔහු මා ළඟට ගෙනාවේ කුමට ද?</verse>
				<verse number="15">මා ඉදිරියෙහි පිස්සු විකාර කරන්නට මොහු ගෙනාවේ පිස්සන් මට හිඟ නිසා ද? මොහු මාගේ ගෙට එන්නට යුතු දැ”යි කීවේ ය.</verse>
			</chapter>
			<chapter number="22">
				<verse number="1">දාවිත් ගාත් රටින් ගැළවී ගොස්, අදුල්ලාම්හි ගුහාවට පැමිණියේ ය. ඔහුගේ සහෝදරයෝ ද ඔහුගේ පියාගේ පවුලේ සියල්ලෝ ද ඒ අසා එහි ඔහු වෙත ගියෝ ය.</verse>
				<verse number="2">විපතට පත් වූ සියල්ලෝ ද ණයතුරුස් ඇති සියල්ලෝ ද අසහනයට පත් වූ සියල්ලෝ ද ඔහු වෙත රැස් වූ හ. දාවිත් ඔවුන්ගේ අධිපතියා විය. මෙසේ ඔහු සමඟ හාරසියයක් පමණ මනුෂ්‍යයෝ සිටියහ.</verse>
				<verse number="3">දාවිත් එතැනින් මෝවබ්හි මිශ්පාට ගොස්, මෝවබ් රජුට කතා කොට, “දෙවියන් වහන්සේ මට කරන්නට යන්නේ කුමක් දැ යි මා දැනගන්න තුරු මාගේ මවුපියන්ට ඔබ වෙත අවුත් සිටින්නට අවසර ලැබේ වා”යි කී ය.</verse>
				<verse number="4">ඔහු මෝවබ් රජු වෙත ඔවුන් කැඳවාගෙන ගියේ ය. දාවිත් ගුහාවෙහි සැඟවී සිටි මුළු කාලය තුළ ඔව්හු රජු සමඟ වාසය කළහ.</verse>
				<verse number="5">ගාද් නම් දිවැසිවරයා දාවිත් වෙත පැමිණ ඔහු අමතා, “ගුහාවෙහි නොසිට ජුදා රටට පිටත් ව එන්නැ”යි කීවේ ය. එවිට දාවිත් පිටත් ව හෙරෙත් වනයට පැමිණියේ ය.</verse>
				<verse number="6">දාවිත් සහ ඔහු සමඟ වූ මිනිසුන් සිටින ස්ථානය එළිදරව් වූ බව සාවුල්ට සැළ විය. සාවුල් ඒ වේලාවේ තමාගේ හෙල්ලය අතේ ඇති ව ගිබියාවේ රාමාහි තිබුණු එශෙල් ගස යට ඉඳගෙන සිටියේ ය. ඔහුගේ සියලු සේවකයෝ ඔහු පිරිවරා සිටියහ.</verse>
				<verse number="7">සාවුල් තමා ළඟ සිටි සේවකයන්ට කතා කොට, “බෙන්ජමින්වරුනි, සවන් දෙන්න; දාවිත් නම් ජෙස්සේගේ පුත්‍රයා ඔබ හැමට කෙත් ද මිදි වතු ද දෙනු ඇතැ යි ඔබ සිතන්නහු ද? ඔහු ඔබ සියල්ලන් සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද කරනු ඇතැ යි ඔබ සිතන්නහු ද?</verse>
				<verse number="8">එසේ නොවේ නම්, ඔබ සියල්ලන් මට විරුද්ධ ව කුමන්ත්‍රණය කරගෙන සිටින්නේ මන් ද? මාගේ පුත්‍රයා, දාවිත් සමඟ ගිවිසුමක් කර ගත් බව ඔබ අතරෙන් කිසිවෙකු මට කීවේ නැත. කිසිවෙකු මා ගැන සලකන්නේත් නැත. මාගේ ම සේවකයෙකු වන දාවිත් දැන් මා මරන්නට අවස්ථාවක් සොයමින් සිටින බවත්, මාගේ පුත්‍රයා ඔහුට අනුබල දෙන බවත් කිසිවෙකු මට කියා නැතැ”යි කීවේ ය.</verse>
				<verse number="9">ඒ අවස්ථාවේ දී සාවුල්ගේ මෙහෙකරුවන්ගේ ප්‍රධානියා ව සිටි ඒදොම්හි දොවෙග් පිළිතුරු දෙමින්, “දාවිත් නොබ්හි සිටින අහිතුබ්ගේ පුත් වූ අහිමෙලෙක් වෙත පැමිණෙනු මම දිටිමි.</verse>
				<verse number="10">දාවිත් කළ යුත්තේ කුමක් දැ යි අහිමෙලෙක් සමිඳාණන් වහන්සේගෙන් විමසා ඔහුට ආහාර දී, පිලිස්තිවරයා වූ ගොලියත්ගේ කඩුවත් ඔහුට දුන්නේ ය”යි කීවේ ය.</verse>
				<verse number="11">එවිට රජ තෙමේ අහිතුබ්ගේ පුත්‍ර වූ අහිමෙලෙක් නම් පූජකයාට ද නොබ්හි සිටි ඔහුගේ ඥාති පූජකයන් සියල්ලන්ට ද අඬගස්වා පණිවුඩයක් යැව්වේ ය. ඔව්හු සියල්ලෝ රජු වෙත පැමිණියහ.</verse>
				<verse number="12">එවිට සාවුල්, “අහිතුබ්ගේ පුත්‍රය, අසන්නැ”යි කී ය. ඔහු, “මාගේ ස්වාමීනි මම මෙහි ය”යි පිළිතුරු දුන්නේ ය.</verse>
				<verse number="13">සාවුල් ඔහු අමතා, “ඔබ ද ජෙස්සේගේ පුත්‍රයා වන දාවිත් ද මට විරුද්ධ ව කුමන්ත්‍රණය කෙළේ මක්නිසා ද? ඔබ ඔහුට ආහාර ද කඩුවක් ද දුන්නෙහි ය. ඔහු උදෙසා දෙවියන් වහන්සේගෙන් විමසුවේ මන් ද? දැන් ඔහු මට විරුද්ධ ව හැරී අවස්ථාවක් එන තුරු බලා සිටින්නේ ය”යි කීවේ ය.</verse>
				<verse number="14">එවිට අහිමෙලෙක් පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන්ගේ බෑණා වන ඔබේ මන්ත්‍රණ සභාවට ඇතුළත් වන රාජ සභාවේ සියල්ලන් විසින් ගරු කොට සලකනු ලබන දාවිත් මෙන් ඔබේ මෙහෙකරුවන් අතරෙන් විශ්වාස ව සිටින්නේ කවරෙක් ද?</verse>
				<verse number="15">මා ඔහු උදෙසා දෙවියන් වහන්සේගෙන් විමසන්න පටන්ගත්තේ මේ දවසේ පමණක් ද? කොහෙත් ම නැත. රජ්ජුරුවෝ තමාගේ මෙහෙකරු වූ මා කෙරෙහි වත්, මාගේ ඥාතීන් කිසිවෙකු කෙරෙහි වත් වරද නොතබත් වා. මන්ද, ඔබේ මෙහෙකරුවා මේ කැරලි ගැසීම ගැන කිසිවක් නොදන්නේ ය”යි කීවේ ය.</verse>
				<verse number="16">රජතුමා කතා කරමින්, “අහිමෙලෙක්, ඔබ ද ඔබේ සියලු ඥාතීන් ද සැබැවින් ම මරණයට පත් කළ යුතු ය”යි කීවේ ය.</verse>
				<verse number="17">එසේ කියා රජතුමා තමා ළඟ සිටි මුරකාරයන්ට කතා කොට, “ඔබ ළං වී සමිඳාණන් වහන්සේගේ පූජකයන් මරාදමන්න. මන්ද, ඔව්හු දාවිත් සමඟ එකතු ව සිටිති. ඔහු පලා යන බව දැනගෙනත් ඔවුන් මට එය එළිදරව් කෙළේ නැතැ”යි කීවේ ය. එහෙත්, රජුගේ සේවකයෝ සමිඳාණන් වහන්සේගේ පූජකයන්ට පහර දෙන්නට තමන්ගේ අත් ඔසවන්නට නොකැමති වූ හ.</verse>
				<verse number="18">එබැවින් රජ, “ඔබ ළං වී පූජකයන්ට පහර දෙන්නැ”යි දොවෙග්ට කීවේ ය. ඒදොමිය දොවෙග් ළං වී පූජකයන්ට පහර දී සිහින් හණ රෙදි ඒපොද් සැට්ට ඇඳ සිටි අසූපස්දෙනෙකු ඒ දවසේ දී මැරුවේ ය.</verse>
				<verse number="19">ඔහු පූජකයන්ගේ නුවර වන නොබ්ටත් එනම්, එහි සිටි පුරුෂයන්ට හා ස්ත්‍රීන්ටත්, බාලයන්ට හා කිරි දරුවන්ටත්, ගවයන්ටත්, කොටළුවන්ටත්, බැටළුවන්ටත් කඩුවෙන් පහර දුන්නේ ය.</verse>
				<verse number="20">එහෙත්, අහිතුබ්ගේ පුත්‍රයා වන අහිමෙලෙක්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ අබියාතර් දාවිත් වෙත පලා ගියේ ය.</verse>
				<verse number="21">සාවුල් සමිඳාණන් වහන්සේගේ පූජකයන් මැරූ බව අබියාතර් දාවිත්ට දැන්නුවේ ය.</verse>
				<verse number="22">දාවිත් ඔහු අමතා, “ඒදොමිය දොවෙග් එහි සිටිය බැවින් ඔහු සාවුල්ට නිසැකින් ම දන්වන බව මම ඒ දවසේ දී දැනගත්තෙමි. ඔබේ ඥාතීන්ගේ මරණයට හේතු වූයේ මම ය.</verse>
				<verse number="23">ඔබ මා ළඟ සිටින්න, බිය නොවන්න; මා මරන්න සොයන්නා ඔබත් මරන්න සොයන්නේ ය. එහෙත්, ඔබ මා ළඟ සුරක්ෂිත ව සිටින්නෙහි ය”යි අබියාතර්ට කීවේ ය.</verse>
			</chapter>
			<chapter number="23">
				<verse number="1">“පිලිස්තිවරු කෙයිලා නගරයට විරුද්ධ ව යුද්ධ කරමින් කමත්වලින් ධාන්‍ය කොල්ලකන්නෝ ය”යි දාවිත්ට දන්වන ලදී.</verse>
				<verse number="2">එබැවින්, “මා ගොස් මේ පිලිස්තිවරුන්ට පහර දෙන්න දැ”යි දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විමසුවේ ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “නුඹ ගොස් පිලිස්තිවරුන්ට පහර දී කෙයිලා නගරය ගළවාගන්නැ”යි දාවිත්ට වදාළ සේක.</verse>
				<verse number="3">එහෙත්, දාවිත්ගේ සෙනඟ ඔහුට කතා කොට, “අපි මෙහි ජුදාහි වුව ද බියෙන් සිටිමු; පිලිස්තිවරුන්ගේ හමුදාවට විරුද්ධ ව අපි කෙයිලා නගරයට ගියොත් ඊට වඩා කොපමණ වැඩියෙන් බිය නොවන්නෙමු දැ”යි කී හ.</verse>
				<verse number="4">එවිට දාවිත් නැවතත් සමිඳාණන් වහන්සේගෙන් විමසුවේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “නැඟිට කෙයිලා නගරයට යන්න; මම නුඹ අතට පිලිස්තිවරුන් පාවා දෙන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="5">එවිට දාවිත් ද ඔහුගේ සෙනඟ ද කෙයිලා නගරයට ගොස් පිලිස්තිවරුන් සමඟ යුද්ධ කොට, ඔවුන්ගේ සිවුපාවුන් පැහැරගෙන, ඔවුන් අන්ත පරාජයට පමුණුවා කෙයිලාහි වැසියන් ගළවාගත්තේ ය.</verse>
				<verse number="6">අහිමෙලෙක්ගේ පුත් අබියාතර් කෙයිලාහි දාවිත් ළඟට පලා ආ කල ඔහු තමාගේ අතේ ඒපොද් සැට්ටයක් ඇති ව ආයේ ය.</verse>
				<verse number="7">දාවිත් කෙයිලාට ආ බව සාවුල්ට දන්වන ලද්දේ ය. සාවුල් කතා කරමින්, “දෙවියන් වහන්සේ දාවිත් මා අතට පාවා දී ඇත. මන්ද, ඔහු වාසල් දොරවල් ද අගුල් ද ඇති නුවරකට ඇතුළු වීමෙන් අසු වී සිටී”යි කීවේ ය.</verse>
				<verse number="8">දාවිත් සහ ඔහුගේ සෙනඟ වටලනු පිණිස සාවුල් කෙයිලා නගරයට යන්නට සියලු සෙනඟ යුද්ධය සඳහා කැඳෙව්වේ ය.</verse>
				<verse number="9">තමාට අනතුරු කරන්නට සාවුල් උපා යොදන බව දාවිත් දැන ගත් විට, “ඒපොද් සැට්ටය මෙහි ගෙනෙන්නැ”යි ඔහු පූජක අබියාතර්ට කීවේ ය.</verse>
				<verse number="10">එවිට දාවිත් මෙසේ පැවසුවේ ය: “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, සාවුල් මා නිසා කෙයිලා නගරය විනාශ කරන පිණිස එන්නට සැරසෙන බව ඔබේ මෙහෙකරු වන මට සැබැවින් සැළ වී තිබේ.</verse>
				<verse number="11">කෙයිලාහි ජනයා සාවුල් අතට මා පාවා දෙනවා ඇද් ද? ඔබේ මෙහෙකරු වන මට සැළ වී තිබෙන ලෙස සාවුල් එනවා ඇද් ද? ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකරුට දැන්වුව මැනව.” සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “සාවුල් එන්නේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="12">එවිට දාවිත්, “කෙයිලාහි ජනයා මා සහ මාගේ සෙනඟ සාවුල් අතට පාවා දෙනවා ඇද් දැ”යි ඇසී ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “එසේ ය, ඔවුන් පාවා දෙනු ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="13">එවිට දාවිත් හයසියයක් පමණ ඔහුගේ සෙනඟ ද රැගෙන කෙයිලා නගරයෙන් පිටත් වී තමන්ට යා හැකි ඒ ඒ තැන්වලට ගියහ. දාවිත් කෙයිලා නගරයෙන් ගැළවී ගිය බව සාවුල්ට දන්වන ලද්දේ ය. එවිට ඔහු තමාගේ ගමන නතර කෙළේ ය.</verse>
				<verse number="14">ශිප් පාළුකරය අසබඩ තිබූ කඳුකරයෙහි දාවිත් සැඟවී සිටියේ ය. සාවුල් හැමදා ම ඔහු සෙවුවේ ය. එහෙත්, දෙවියන් වහන්සේ සාවුල් අතට ඔහු පාවා නුදුන් සේක.</verse>
				<verse number="15">සාවුල් තමා මරන්නට පිටත් ව ආ නිසා දාවිත් බිය පත් ව සිටියේ ය. එකල දාවිත් ශිප් කඳු රටේ තිබුණ හොරෙෂ්හි සිටියේ ය.</verse>
				<verse number="16">එවිට සාවුල්ගේ පුත් ජොනතන් හොරෙෂ්හි සිටි දාවිත් වෙත අවුත් දෙවියන් වහන්සේගේ ආරක්ෂාව ඔහු වෙත ඇතැ යි කියමින් ඔහු ධෛර්යවත් කෙළේ ය.</verse>
				<verse number="17">ජොනතන් ඔහුට කතා කරමින්, “බිය නොවන්න; මන්ද, මාගේ පියා වන සාවුල්ගේ අතට ඔබ අසුවන්නේ නැත; ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජ වන්නට ඉන්නේ ඔබ ය; මම ද ඔබට දෙවැනියා වන්නෙමි; මාගේ පියා වන සාවුල් ද ඒ බව දන්නේ ය”යි ඔහුට කීවේ ය.</verse>
				<verse number="18">ඔවුන් දෙදෙනා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්හ. දාවිත් හොරෙෂ්හි නැවතී සිටියේ ය; ජොනතන් තමාගේ ගෙදරට ගියේ ය.</verse>
				<verse number="19">එවිට ශිප් වැසියෝ ගිබියාවෙහි සිටි සාවුල් ළඟට අවුත්, “දාවිත් අපේ ප්‍රදේශයේ පාළුකරයට දකුණෙන් තිබෙන හකීලා නම් කැළෑවේ සැඟවී සිටී;</verse>
				<verse number="20">ඒ නිසා රජතුමෙනි, එනු මැනව; ඔබේ සිතෙහි ඇති මුළු කැමැත්ත ලෙස අව මැනව; රජ්ජුරුවන් අතට දාවිත් අල්ලා දීම අපේ වැඩක් ය”යි කීවෝ ය.</verse>
				<verse number="21">සාවුල් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “ඔබ මට අනුකම්පා කළ නිසා සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක් වා!</verse>
				<verse number="22">ඉතින් ඔබ ගොස් තවදුරටත් සෝදිසි කර, ඔහු ගැවසෙන ඔහුගේ ස්ථානයත්, එහි ඔහු සිටිනු දුටුවේ කවරෙක් ද කියාත් බලා දැනගන්න. මන්ද, ඔහු උපා යෙදීමට අති දක්ෂ බව මට දැනගන්නට ලැබී තිබේ.</verse>
				<verse number="23">ඒ නිසා ඔහු සැඟවී සිටින සියලු රහස් තැන් බලා නිසැක ව ම දැනගෙන මා ළඟට නැවත එන්න. එවිට මම ඔබ සමඟ ගොස් ඔහු රටේ සිටිනවා නම්, ජුදාහි සිටින සියලු ගෝත්‍රයන් එකින් එක විමසා බලා ඔහු සොයාගන්නෙමි.”</verse>
				<verse number="24">ශිප් වැසියෝ පිටත් ව සාවුල්ට පළමුවෙන් සිය නගරයට ගියහ. එහෙත්, දාවිත් සහ ඔහුගේ සෙනඟ පාළුකරයට දකුණු දිගින් අරබා සම භූමියෙහි තිබෙන මායොන් පාළුකරයෙහි සිටියහ.</verse>
				<verse number="25">සාවුල් ද ඔහුගේ සෙනඟ ද ඔහු සොයන පිණිස ගියහ. ඒ බව දාවිත්ට දන්වනු ලැබූ බැවින් ඔහු පර්වතයට බැස අවුත් මායොන් පාළුකරයෙහි සිටියේ ය. සාවුල් ඒ බව අසා දාවිත් ලුහුබැඳ මායොන් පාළුකරයට ගියේ ය.</verse>
				<verse number="26">සාවුල් සහ ඔහුගේ සෙනඟ කන්දේ එක පැත්තකින් ද දාවිත් සහ ඔහුගේ සෙනඟ කන්දේ අනික් පැත්තෙන් ද ගියහ. සාවුල් සහ ඔහුගේ සෙනඟ, දාවිත් සහ ඔහුගේ සෙනඟ අල්ලාගන්න පිණිස වට කළ නිසා, දාවිත් සාවුල්ට බියෙන් ගැළවී යන්නට ඉක්මන් කෙළේ ය.</verse>
				<verse number="27">ඒ අතරතුරේ දී සාවුල් වෙත පණිවුඩකාරයෙක් පැමිණ, “ඉක්මනින් ආපසු අව මැනව; පිලිස්තිවරු අප රට ආක්‍රමණය කරති”යි කීවේ ය.</verse>
				<verse number="28">එබැවින් සාවුල් දාවිත් ලුහුබැඳ යෑම අත්හැර පෙරළා පැමිණ පිලිස්තිවරුන්ට විරුද්ධ ව සටනට ගියේ ය. ඒ නිසා ඔව්හු ඒ ස්ථානයට වෙන් කිරීමේ පර්වතය යන අරුත ඇති සෙල-හම්මා-ලෙකොත් යන නම තැබූහ.</verse>
				<verse number="29">දාවිත් එතැනින් නික්ම ගොස් එන්ගෙදි බලකොටුවල සැඟවී සිටියේ ය.</verse>
			</chapter>
			<chapter number="24">
				<verse number="1">සාවුල් පිලිස්තිවරුන් ලුහුබැඳ ගොස් ආපසු හැරී ආ කල, “දාවිත් එන්ගෙදියේ පාළුකරයේ සිටී ය”යි ඔහුට දන්වන ලද්දේ ය.</verse>
				<verse number="2">එවිට සාවුල් සියලු ඉශ්රායෙල්වරුන්ගෙන් තෝරාගත් මිනිසුන් තුන්දහසක් රැගෙන වල් එළුවන් ගැවසෙන පර්වතයේ නැගෙනහිරෙන් දාවිත් සහ ඔහුගේ සෙනඟ සොයන්නට ගියේ ය.</verse>
				<verse number="3">සාවුල් මාර්ගයෙහි තිබුණ බැටළු ගාලකට පැමිණ ශරීරකෘත්‍යය සඳහා එහි තිබුණු ගුහාවකට ඇතුළු විය. දාවිත් ද ඔහුගේ සෙනඟ ද ගුහාවේ අහු මුලු වල සිටියෝ ය.</verse>
				<verse number="4">දාවිත්ගේ සෙනඟ කතා කොට, “මෙන්න, හරි අවස්ථාව පැමිණ තිබේ. සමිඳාණන් වහන්සේ පොරොන්දු වූ ලෙස ඔබේ සතුරා ඔබේ අතට පාවා දී ඇත. ඔබ කැමැති දෙයක් ඔහුට කරන්නට ඔබට හැකි ය”යි කී හ. එවිට දාවිත් නැඟිට සාවුල්ගේ සළුවේ කොන රහසින් කපා ගත්තේ ය.</verse>
				<verse number="5">සාවුල්ගේ සළුවේ කොන කපාගත් බැවින් පසුව දාවිත්ගේ සිත ඔහුට දොස් තැබුවේ ය.</verse>
				<verse number="6">ඔහු සිය සෙනඟට කතා කොට, “සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා වන මාගේ ස්වාමියාට විරුද්ධ ව අත් ඔසවා අනතුරක් කිරීමෙන් සමිඳාණන් වහන්සේ මා වළක්වන සේක්වා; මන්ද, ඔහු සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා ය”යි කීවේ ය.</verse>
				<verse number="7">මෙසේ සාවුල්ට අනතුරක් කරන ලෙස දාවිත් තමාගේ සෙනඟට ඉඩ නෑර මේ වචනවලින් ඔවුන් වළක්වා ගත්තේ ය. සාවුල් ගුහාවෙන් පිටත් ව ගියේ ය.</verse>
				<verse number="8">ඉන්පසු දාවිත් නැඟිට ගුහාවෙන් පිටතට ගොස්, “මාගේ ස්වාමීනි, රජ්ජුරුවන් වහන්සැ”යි හඬගැසුවේ ය. සාවුල් පස්සට හැරී බැලූ කල, දාවිත් මුණින්තළා වී වැඳ,</verse>
				<verse number="9">සාවුල්ට මෙසේ කීවේ ය: “ ‘දාවිත් ඔබට අනතුරු කරන්නට සොයන්නේ ය’යි කියන මිනිසුන්ගේ වචනවලට ඔබ සවන් දෙන්නේ මන් ද?</verse>
				<verse number="10">සමිඳාණන් වහන්සේ අද ගුහාවේ දී ඔබ මා අතට පාවා දුන් බව ඔබේ ඇස්වලින් ම මේ දවසේ දී පෙනෙනු ඇත. සමහරු ඔබ මරන්නට කියා මට කී හ. එහෙත්, මම ඔබට කරුණා කෙළෙමි. මන්ද, ‘මාගේ ස්වාමියා සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා බැවින් ඔහුට විරුද්ධ ව මාගේ අත ඔසවන්නේ නැතැ’යි මම කීමි.</verse>
				<verse number="11">තවද, මාගේ පියාණෙනි, මේ බලන්න, ඔබේ සළුවේ කොන මාගේ අතේ තිබෙන බව බැලුව මැනව. මා ඔබ නොමරා, ඔබේ සළුවේ කොන කපාගත් බව බලා, මා අත නපුරක් වත්, අපරාධයක් වත් නැති බව ද, මා ඔබට විරුද්ධ ව පව් නොකළ බව ද දැනගත මැනව. එසේ වුව ද මාගේ ප්‍රාණය නසන්නට ඔබ මා ලුහුබැඳ එන්නෙහි ය.</verse>
				<verse number="12">සමිඳාණන් වහන්සේ ඔබ හා මා අතරේ විනිශ්චය කොට, මට විරුද්ධ ව ඔබ ක්‍රියා කර ඇති බැවින්, ඔබට දඬුවම් කරන සේක්වා. මම නම් ඔබට කිසිම අනතුරක් නොකරමි.</verse>
				<verse number="13">පැරැණි ආප්තෝපදේශයේ හැටියට දුෂ්ටයාගෙන් දුෂ්ටකම නික්මෙයි. එහෙත්, මම ඔබට දුෂ්ටකමක් නොකරන්නෙමි.</verse>
				<verse number="14">ඉශ්රායෙල්වරුන්ගේ රජතුමා කවරෙකු ලුහුබැඳ එන්නේ ද? මළ බල්ලෙකු පස්සේ ද? බලුමැක්කෙකු පස්සේ ද?</verse>
				<verse number="15">සමිඳාණන් වහන්සේ විනිශ්චයකාරයාණන් වී මාගේ පැමිණිල්ල අසා ඔබත් මාත් අතරේ විනිශ්චය කර, ඔබේ අතින් මා ගළවන සේක් වා!”</verse>
				<verse number="16">දාවිත් මේ වචන සාවුල්ට කියා නිම කළ පසු සාවුල් කතා කොට, “දාවිත්, මාගේ පුත්‍රය, ඔය ඔබේ හඬ ද?” කියා ශබ්ද නඟා හැඬුවේ ය.</verse>
				<verse number="17">ඔහු දාවිත්ට කතා කොට මෙසේ කීවේ ය: “ඔබ මට වඩා දැහැමි ය. මන්ද, මා ඔබට නපුර කළ නමුත්, ඔබ මට යහපත කෙළෙහි ය.</verse>
				<verse number="18">සමිඳාණන් වහන්සේ ඔබ අතට මා පාවා දුන් විට පවා, ඔබ මා නොමරා, මට යහපත කළ බව අද ඔබ මට පෙන්වා දුන්නෙහි ය.</verse>
				<verse number="19">මිනිසෙකුට සිය සතුරා අසු වුණොත්, ඔහුට සුව සේ යන්නට ඉඩ හරියි ද? එබැවින් ඔබ අද දවසේ මට කළ මේ දේ නිසා සමිඳාණන් වහන්සේ ඔබට යහපත් විපාකයක් දෙන සේක් වා!</verse>
				<verse number="20">සැබැවින් ම ඔබ රජ වන බවත්, ඉශ්රායෙල්වරුන්ගේ රාජාධිපත්‍යය ඔබ අතේ ස්ථිර ව පවතින බවත් මම දනිමි.</verse>
				<verse number="21">ඒ නිසා මට පසුව එන මාගේ වංශය ඔබ විසින් සිඳ දමනු නොලබන ලෙසත්, මාගේ පිය වංශයෙන් මාගේ නාමය නැති කර නොදමනු ලබන ලෙසත් සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරුම් දෙන්න.”</verse>
				<verse number="22">දාවිත් සාවුල්ට දිවුරුම් දුන්නේ ය. ඉක්බිති සාවුල් ගෙදර ගියේ ය; දාවිත් ද ඔහුගේ සෙනඟ ද ඔවුන් සැඟවී සිටි ස්ථානයට ගියහ.</verse>
			</chapter>
			<chapter number="25">
				<verse number="1">සාමුවෙල් මියගියේ ය; සියලු ඉශ්රායෙල්වරු රැස් ව ඔහු ගැන වැළපී, රාමාහි තිබුණ ඔහුගේ නිවාසයෙහි ඔහු තැන්පත් කළහ. ඉන්පසු දාවිත් පිටත් ව මායොන් පාළුකරයට බැස ගියේ ය.</verse>
				<verse number="2">සිය ධන සම්පත කර්මෙල්හි ඇති මිනිසෙක් මායොන්හි සිටියේ ය. ඔහු ධනකුවේරයෙකි; ඔහුට බැටළුවෝ තුන්දහසක් ද එළුවෝ දහසක් ද සිටියෝ ය. ඔහු කර්මෙල්හි තම බැටළුවන්ගේ ලොම් කප්පමින් සිටියේ ය.</verse>
				<verse number="3">ඒ මිනිසාගේ නම නාබල් ය; ඔහුගේ බිරිඳගේ නම අබිගායිල් ය. ඒ ස්ත්‍රිය බුද්ධිමත් රූමත් කාන්තාවක් වූවා ය. එහෙත්, ඇගේ පුරුෂයා තිරිසන් ගති ඇති නපුරු කෙනෙක් විය. ඔහු කාලෙබ්ගේ වංශයේ කෙනෙකි.</verse>
				<verse number="4">නාබල් තම බැටළුවන්ගේ ලොම් කප්පන බව කාන්තාරයේ දී දාවිත්ට සැළ විය.</verse>
				<verse number="5">දාවිත් තරුණයන් දසදෙනෙකු යවමින් ඔවුන්ට මෙසේ කීවේ ය: “ඔබ කර්මෙල් කන්දට ගොස්, නාබල් වෙත පැමිණ මාගේ නාමයෙන් ඔහුට ආචාර කරන්න.</verse>
				<verse number="6">ඔහුට ආචාර කරමින් ‘අපි ශුභ පැතීමට ඔබ වෙත එවනු ලැබීමු. ඔබේ පවුලට සාමදානය වේ වා! ඔබට ඇති සියල්ලටත් සාමදානය වේ වා!</verse>
				<verse number="7">ඔබට බැටළු ලොම් කපන්නන් සිටින බව ඇසීමු. ඔබේ බැටළු එඬේරු අප සමඟ සිටියහ; අප ඔවුන්ට හිංසා කෙළේ වත්, ඔවුන් කර්මෙල්හි සිටි මුළු කාලය තුළ දී ඔවුන්ට අයිති කිසිවක් නැති වුණේ වත් නැත.</verse>
				<verse number="8">ඒ ඔබේ සේවකයන්ගෙන් ඔබ විමසුවොත් ඔවුන් ඒ බව ඔබට කියනු ඇත. ඒ නිසා අපට ඔබ ඉදිරියෙහි කරුණාව ලැබේ වා! මන්ද, අපි මංගල අවස්ථාවකට එළඹ සිටිමු. මෙහෙකරුවන්ටත්, ඔබේ පුත් දාවිත්ටත් ඔබට පුළුවන් දෙයක් දෙන ලෙස ඉල්ලමු’යි කියන්න.”</verse>
				<verse number="9">මෙසේ කී පසු දාවිත්ගේ තරුණයෝ පිටත් ව ගොස්, ඔහු කී පණිවුඩය ඔහුගේ නාමයෙන් නාබල්ට සැළ කර එහි නතර වූ හ.</verse>
				<verse number="10">නාබල් දාවිත්ගේ මෙහෙකරුවන්ට පිළිතුරු දෙමින්, “දාවිත් කවරෙක් ද? ජෙස්සේගේ පුත්‍රයා කවරෙක් ද? මේ කාලයේ තම තමන්ගේ ස්වාමීවරුන් වෙතින් පලා යන මෙහෙකරුවෝ බොහෝ වෙති.</verse>
				<verse number="11">එසේ වී නම්, මා මාගේ රොටි ද වතුර ද මාගේ බැටළු ලොම් කපන්නන් උදෙසා මා මැරූ සතුන්ගේ මස් ද රැගෙන, කොතැනින් ආවා ද කියා මා නොදන්න මිනිසුන්ට දෙන්නට දැ”යි ඇසුවේ ය.</verse>
				<verse number="12">එවිට දාවිත්ගේ තරුණයන් හැරී ගොස් දාවිත් වෙත පැමිණ නාබල් කී දේ ඔහුට සැළ කළහ.</verse>
				<verse number="13">එවිට දාවිත්, “ඔබ එකිනෙකා තම තමාගේ කඩුව ගන්නැ”යි තමාගේ තරුණයන්ට කී ය. ඔව්හු හැම දෙන ම තම තමන්ගේ කඩු ගත්හ. දාවිත් ද තමාගේ කඩුව ගත්තේ ය. මිනිස්සු හාරසියයක් පමණ දාවිත් අනුව ගියෝ ය; දෙසියයක් භාණ්ඩ ළඟ නැවතී සිටියහ.</verse>
				<verse number="14">නාබල්ගේ මෙහෙකරුවන්ගෙන් එක් කෙනෙක් ඔහුගේ බිරිඳ වූ අබිගායිල්ට මෙසේ කීවේ ය: “අප ස්වාමියාට ආචාර කරන පිණිස දාවිත් කාන්තාරයේ සිට පණිවුඩකාරයන් එව්වේ ය. එහෙත්, ඔහු ඔවුන්ට බැණ වැදුණේ ය.</verse>
				<verse number="15">ඒ තරුණයෝ නම් ඉතා හොඳින් අපට සැලකුවෝ ය. අපි කෙත්වල සිටිය දී ඔවුන් සමඟ ගැවසුණ මුළු කාලයේ දී අපට අනතුරක් වුණේ වත්, අපෙන් කිසිවක් නැති වුණේ වත් නැත.</verse>
				<verse number="16">අප බැටළුවන් බලාගනිමින් ඔවුන් සමඟ සිටි මුළු කාලයේ, ඔව්හු රෑ දවල් දෙක්හි අපට උපකාරයක් මෙන් සිටියහ.</verse>
				<verse number="17">ඒ නිසා දැන් ඔබ ඒ කරුණු දැනගෙන කුමක් කටයුතු දැ යි කල්පනා කළ මැනව. මන්ද, අපේ ස්වාමියාටත්, ඔහුගේ මුළු පවුලටත් විරුද්ධ ව අනතුරක් කිරීමට නියම කර ඇත. අපේ ස්වාමියා කොතරම් දුර්ජනයෙක් ද කීවොත්, ඔහු සමඟ කිසිවෙකුට කතා කරන්නට නොහැකි ය.”</verse>
				<verse number="18">එවිට අබිගායිල් කඩිනමින්, රොටි දෙසියයක් ද මිදියුස බඳුන් දෙකක් ද කෑමට පිළියෙළ කළ බැටළුවන් පස්දෙනෙකු ද විලඳ නැළි පහක් ද වියළි මුද්‍රික පල පොකුරු සියයක් ද අත්තික්කා කැටි දෙසියයක් ද රැගෙන, ඒවා කොටළුවන් පිට පැටෙවුවා ය.</verse>
				<verse number="19">එසේ කර ඈ වැඩකාරයන් අමතා, “ඔබ මට පෙරටුව යන්න. මම ඔබ පස්සෙන් එන්නෙමි”යි කීවා ය. ඒ ගැන කිසිවක් ඈ සිය පුරුෂයාට කීවේ නැත.</verse>
				<verse number="20">ඈ කොටළුවා පිට නැඟී කඳු ගැටයකින් බැස යද්දී හදිසියේ දාවිත් ද ඔහුගේ සෙනඟ ද ඈ ඉදිරියට බැස ආවෝ ය. ඈ ද ඔවුන්ට මුණගැසුණා ය.</verse>
				<verse number="21">දාවිත් මෙසේ ඉටාගෙන සිටියේ ය: “සැබැවින් පාළුකරයේ දී මේ මිනිසාට අයිති සියල්ල මම ආරක්ෂා කෙළෙමි. කිසිවක් නැති නොවන ලෙස මොහු සන්තක සියල්ල මා ආරක්ෂා කිරීම නිෂ්ඵල ය. එසේ වුව ද මා මොහුට කළ යහපතට ඔහු මට අයහපතක් කර ඇත.</verse>
				<verse number="22">මා මොහුගේ සියලු පිරිමින්ගෙන් එක් කෙනෙකු වත් ඉතිරි නොවන සේ හෙට එළි වන්නට පෙර මරා නොදැම්මොත් දෙවියන් වහන්සේ මට ඉතා දරුණු ලෙස දඬුවම් කරන සේක් වා.”</verse>
				<verse number="23">අබිගායිල් දාවිත් දුටු විට ඉක්මනින් කොටළුවා පිටින් බැස දාවිත් ඉදිරියෙහි මුණින්තළා වැඳ වැටුණා ය.</verse>
				<verse number="24">ඈ ඔහුගේ පාමුල වැටී මෙසේ කීවා ය: “මාගේ ස්වාමීනි, ඒ අපරාධය මා පිට, මා පිට ම වේ වා; ඔබට කතා කරන්නට ඔබේ මෙහෙකාරියට අවසර ලැබේ වා. ඔබේ මෙහෙකාරීගේ වචන ඇසුව මැනව.</verse>
				<verse number="25">මාගේ ස්වාමීනි, නාබල් නම් ඒ දුර්ජන මිනිසා ගැන නොසැලකුව මැනව. ඔහුගේ නාමය යම් සේ ද, ඔහුගේ ගතියත් එසේ ම ය; ඔහුගේ නම නාබල් ය. එහි තේරුම අනුව ඔහු තිරිසනෙකි; මාගේ ස්වාමීන් වන ඔබ විසින් එවන ලද තරුණයන් ඔබේ මෙහෙකාරී වන මම නුදුටිමි.</verse>
				<verse number="26">දැන් මාගේ ස්වාමීනි, ලේ වැගිරීමේ අපරාධයෙන් ද ඔබේ ම අතින් පළිගැනීමෙන් ද සමිඳාණන් වහන්සේ ඔබ වැළැක්වූ සේකැ යි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ඔබේ නාමයෙන් ද දිවුරා කියමි. එබැවින් ඔබේ සතුරෝ ද මාගේ ස්වාමියා වන ඔබට අන්තරා කරන්නට සොයන්නා ද නාබල් මෙන් තිරිසන්නු වෙත් වා.</verse>
				<verse number="27">ඉතින් ඔබේ මෙහෙකාරී වන මා විසින් මාගේ ස්වාමියා වන ඔබට ගෙනෙන ලද මේ තෑග්ග මාගේ ස්වාමියා වන ඔබ පස්සේ යන තරුණයන්ට දුන මැනව.</verse>
				<verse number="28">ඔබේ මෙහෙකාරීගේ වරදට කමා වුණ මැනව. මාගේ ස්වාමියා වන ඔබ සමිඳාණන් වහන්සේගේ යුද්ධ කරන බැවින් සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියා වන ඔබට ස්ථිර වංශයක් නංගවා දෙන සේක් ම ය. ඔබ ජීවත් ව සිටින මුළු කාලයේ දී ඔබ අත කිසි නපුරක් දකිනු නොලබන්නේ ය.</verse>
				<verse number="29">ඔබ ලුහුබැඳ අවුත් ඔබේ ප්‍රාණය හානි කරන්නට යම් මිනිසෙකු තැත් කළොත්, කෙනෙකු ඔහුගේ වටිනා වස්තුව ආරක්ෂා කරන සේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියා වන ඔබේ ප්‍රාණය ආරක්ෂා කරන සේක. උන් වහන්සේ ඔබේ සතුරන්, ගල් පටියකින් විදින ගල් සේ වීසි කරදමන සේක් වා!</verse>
				<verse number="30">සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියා වන ඔබ ගැන වදාළ සියලු යහපත්කම් ඉෂ්ට කර, ඔබ ඉශ්රායෙල්වරුන් කෙරෙහි අධිපතියා වශයෙන් පත් කළ කල්හි</verse>
				<verse number="31">මාගේ ස්වාමියා වන ඔබ නිකරුණේ ලේ වැගිරෙව්වෙහි ය කියා වත්, තමා අතින් පළිගත්තේ ය කියා වත් ඒ ගැන ඔබට සිත් වේදනාවක් වත්, ශෝකයක් වත් නොවනු ඇත. තවද, සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියා වන ඔබට ආශීර්වාද කළ කල්හි ඔබේ මෙහෙකාරී වන මා සිහි කළ මැනව.”</verse>
				<verse number="32">දාවිත් අබිගායිල්ට මෙසේ පිළිතුරු දුන්නේ ය: “මා සම්බ වන පිණිස අද දවසේ ඔබ එවා වදාළ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා!</verse>
				<verse number="33">ඔබේ දැනුමැතිකමට ද ස්තුති වේ වා! ලේ වගුරුවා මාගේ අතින් පළිගැනීමෙන් අද දවසේ මා වැළකු ඔබට ආශීර්වාද වේ වා!</verse>
				<verse number="34">ඔබට හිංසා කිරීමෙන් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මා වැළකු සේක. ඔබ කඩිනමින් මා සම්බ වන්නට නාවා නම්, නාබල්ට අයිති එක පිරිමියෙක් වත් හෙට එළි වන විට ඉතුරු නොවන්නේ යයි උන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි.”</verse>
				<verse number="35">මෙසේ කියා දාවිත් අබිගායිල් තමාට ගෙනා දේවල් ඇගේ අතින් පිළිගෙන, “ඔබේ ගෙදරට ශාන්ති සිතින් යන්න; මම ඔබේ හඬට සවන් දී ඔබ කී දේ පිළිගතිමි”යි කීවේ ය.</verse>
				<verse number="36">අබිගායිල් නාබල් වෙත පැමිණියා ය. එවිට රාජ මංගල්‍යයක් මෙන් ඔහු තම ගෙදර මංගල්‍යයක් පවත්වමින් සිටියේ ය. නාබල් හොඳට ම මත් වී සිටි බැවින් ඔහු ප්‍රීති ලීලාවෙන් සිටියේ ය. එබැවින් පසු දා එළි වන තුරු ඈ ඔහුට කිසිවක් දැන්නුවේ නැත.</verse>
				<verse number="37">පසු දා නාබල්ගේ වෙරි සිඳුණ කල ඈ ඔහුට සියලු දේ සැළ කළා ය. එවිට ඔහු හදිස්සි ආබාධයකින් දරදඬු විය.</verse>
				<verse number="38">ඊට දස දවසකට පමණ පසු සමිඳාණන් වහන්සේ නාබල්ට පහර දුන් සේක; ඔහු මළේ ය.</verse>
				<verse number="39">නාබල් මළ බව දාවිත් අසා, “නාබල් අතින් මට වූ නින්දාව ගැන යුක්තිය ඉටු කළ, තමන් වහන්සේගේ මෙහෙකරුවා නපුරෙන් වැළකූ සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! සමිඳාණන් වහන්සේ නාබල්ගේ නපුරුකම් ඔහුගේ ම හිස පිටට හැරෙවූ සේකැ”යි කී ය. දාවිත් අබිගායිල් සරණපාවා ගන්න අදහසින් ඒ ගැන ඈ සමඟ කතා කරගන්නට පණිවුඩකාරයන් යැව්වේ ය.</verse>
				<verse number="40">දාවිත්ගේ සේවකයෝ කර්මෙල් කන්දෙහි අබිගායිල් වෙත පැමිණ ඈට කතා කරමින්, “දාවිත් ඔබ සරණපාවා ගැනීමේ අදහසින් ඔබ කැඳවාගෙන එන පිණිස ඔබ වෙත අප එව්වේ ය”යි කී හ.</verse>
				<verse number="41">අබිගායිල් නැඟිට මුණින්තළා වී, “එතුමාගේ දාසි වන මම එතුමාගේ සේවකයන්ගේ පාද සේදීමට සූදානම් ය”යි කීවා ය.</verse>
				<verse number="42">එවිට අබිගායිල් කඩිනමින් කොටළුවෙකු පිට නැඟී පිටත්වුණා ය. ඇගේ තරුණියෝ පස්දෙනෙක් ද ඈ සමඟ ගියහ. එසේ ඈ දාවිත්ගේ පණිවුඩකාරයන් කැටුව ගොස් ඔහුගේ භාර්යාව වූවා ය.</verse>
				<verse number="43">දාවිත් ජෙශ්‍රෙයෙල්හි අහිනොවම් ද සරණපාවාගෙන සිටියේ ය. ඈ ද අබිගායිල් ද යන දෙදෙනා ම ඔහුට භාර්යාවෝ වූ හ.</verse>
				<verse number="44">සාවුල් විසින් දාවිත්ගේ බිරිඳ ව සිටි මීකල් නම් තමාගේ දුව ගල්ලිම්හි විසූ ලායිෂ්ගේ පුත් පල්තීට භාර්යාව කොට දෙන ලද්දී ය.</verse>
			</chapter>
			<chapter number="26">
				<verse number="1">ශිප්වරු ගිබියාවේ සිටි සාවුල් වෙත පැමිණ, “දාවිත් මරුකතර ඉදිරියේ හකීලා හෙලේ සැඟවී සිටින්නේ ය”යි දැන්නූ හ.</verse>
				<verse number="2">එවිට සාවුල් පිටත් වී, ඉශ්රායෙල් දේශයෙන් තෝරාගත් තුන්දහසක් පිරිවරා ශිප් පාළුකරයෙහි දාවිත් සොයන පිණිස එතැනට ගියේ ය.</verse>
				<verse number="3">සාවුල් පාළුකරය ඉදිරිපිට මාර්ගය ළඟ තිබෙන හකීලා හෙලේ කූඩාරම් ගසාගත්තේ ය. දාවිත් පාළුකරයේ සිටියේ ය. සාවුල් තමා සොයමින් පාළුකරයට ඇවිත් සිටින බව දාවිත්ට දැනගන්නට ලැබිණි,</verse>
				<verse number="4">ඔහු ඔත්තුකාරයන් යවා සාවුල් ඇත්තට ම ඇවිත් සිටින බව දැනගත්තේ ය.</verse>
				<verse number="5">එවිට දාවිත් පිටත් වී සාවුල් කූඩාරම් ගසාගෙන සිටි ස්ථානයට අවුත්, සාවුල් ද ඔහුගේ සෙන්පතියා වූ නේර්ගේ පුත් අබ්නේර් ද නිදා උන් ස්ථානය දුටුවේ ය. සාවුල් කඳවුර ඇතුළේ වැදහොත්තේ ය; සෙනඟ ඔහු වට කර කූඩාරම් ගසාගෙන සිටියහ.</verse>
				<verse number="6">එවිට දාවිත් හිත්තීය අහිමෙලෙක්ටත් ශෙරුයාගේ පුත් ජෝවාබ්ගේ සහෝදර වූ අබිෂයිටත් කතා කොට, “මා සමඟ සාවුල් ළඟට කඳවුරට යන්නේ කවරෙක් දැ”යි ඇසී ය. “මම ඔබ සමඟ යමි”යි අබිෂයි පිළිතුරු දුන්නේ ය.</verse>
				<verse number="7">මෙසේ දාවිත් ද අබිෂයි ද රාත්‍රියෙහි සාවුල්ගේ කඳවුරට පිවිස, සාවුල් තමාගේ හෙල්ලය තම හිස ළඟ බිම සිටුවා කඳවුර මැද නිදාගෙන සිටිනු දුටුවෝ ය. අබ්නේර් සහ සෙනඟ ඔහු වටකර නිදා උන්හ.</verse>
				<verse number="8">එවිට අබිෂයි දාවිත්ට කතා කොට, “දෙවියන් වහන්සේ අද ඔබේ සතුරා ඔබ අතට පාවා දුන් සේක. එබැවින් දැන් එක පහරකින් හෙල්ලයෙන් ඔහු බිමට ම ඇණ දමන්නට මට අවසර දුන මැනව; ඔහුට පහර දෙකක් ගසන්නට වුවමනා නැතැ”යි දාවිත්ට කීවේ ය.</verse>
				<verse number="9">දාවිත් පිළිතුරු දෙමින්, “ඔහු නොනසන්න; සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධ ව සිය අත ඔසවා නිදොස් ව සිටින්නට හැකි කාට දැ”යි අබිෂයිට කීවේ ය.</verse>
				<verse number="10">තවදුරටත් ඔහු කතා කරමින්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා මෙසේ කී ය: “ඔහු මැරෙන්නට නියම දවස පැමිණි විට හෝ ඔහු යුද්ධයට ගොස් නසින විට හෝ සමිඳාණන් වහන්සේ ම ඔහුට පහර දෙන සේක;</verse>
				<verse number="11">මාගේ අත සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධ ව එසවීමෙන් උන් වහන්සේ මා වළක්වන සේක් වා! ඔහුගේ හිස ළඟ තිබෙන හෙල්ලයත්, වතුර භාජනයත් අරගෙන අපි යමු.”</verse>
				<verse number="12">මෙසේ දාවිත් සාවුල්ගේ හිස ළඟ තිබුණ හෙල්ලයත්, වතුර භාජනයත් ගෙන පිට වී ගියේ ය. එය කිසිවෙකු දුටුවේ වත්, දැනගත්තේ වත් නැත. කිසිවෙකු පිබිදුණේත් නැත; සමිඳාණන් වහන්සේ බර නින්දකට සියලු දෙනා පත්කර තිබුණ බැවින් ඔව්හු සියල්ලෝ ම නිදාගෙන සිටියහ.</verse>
				<verse number="13">එවිට දාවිත් අනික් පැත්තට ගොස් කන්ද මුදුනේ දුරින් සිටියේ ය. දෙගොල්ල අතරේ මහා පරතරයක් විය.</verse>
				<verse number="14">ඉන්පසු දාවිත් සාවුල්ගේ සෙනඟටත්, නේර්ගේ පුත් අබ්නේර්ටත් මොරගසා, “අබ්නේර්, මට පිළිතුරු දෙන්නැ”යි කී ය. අබ්නේර් ද පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන්ට අඬගසන ඔබ කවරෙක් දැ”යි ඇසුවේ ය.</verse>
				<verse number="15">දාවිත් පිළිතුරු දෙමින් මෙසේ කී ය; “ඔබ මිනිසෙක් නොවේ ද? ඉශ්රායෙල්හි ඔබ හා සමාන අන් කෙනෙක් සිටී ද? එසේ නම් ඔබේ ස්වාමියා වන රජ්ජුරුවන් ඔබ රැක බලා නොගත්තේ මන් ද? ඔබේ ස්වාමීන් වන රජ්ජුරුවන් නසන පිණිස සෙනඟගෙන් කෙනෙක් ඇතුළු විය.</verse>
				<verse number="16">ඔබේ යුතුකම ඔබ නොකෙළෙහි ය. ඔබ හැම දෙන සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා වන ඔබ හැමගේ ස්වාමියා රැක බලා නොගත් නිසා ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි, ඔබ හැම මරණයට සුදුස්සෝ ය. රජ්ජුරුවන්ගේ හිස ළඟ තිබුණු හෙල්ලයත්, වතුර භාජනයත් දැන් කොහේ ද කියා බලන්න.”</verse>
				<verse number="17">දාවිත්, මෙසේ කී පසු සාවුල් දාවිත්ගේ කට හඬ හැඳිනගෙන, “මාගේ පුත, ඔය ඔබේ කට හඬ දැ”යි ඇසී ය. දාවිත් පිළිතුරු දෙමින් මෙසේ කී ය: “මාගේ ස්වාමීන් වන රජතුමෙනි, ඒ මාගේ කට හඬ ය.</verse>
				<verse number="18">මාගේ ස්වාමියා තමාගේ මෙහෙකරුවා ලුහුබැඳ එන්නේ මක්නිසා ද? මා කෙළේ කුමක් ද? මා කළ අපරාධය කුමක් ද?</verse>
				<verse number="19">මාගේ ස්වාමීන් වන රජතුමෙනි, ඔබේ මෙහෙකරුවා වන මාගේ වචනවලට සවන් දෙන්න. ඔබ තුමා මට විරුද්ධ ව පෙළඹුවේ සමිඳාණන් වහන්සේ නම්, උන් වහන්සේ පූජාවක් පිළිගන්න සේක් වා! එහෙත්, ඔබ තුමා පෙළඹෙව්වේ මනුෂ්‍යයෝ නම්, ඔව්හු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සාපලද්දෝ වෙත් වා. මන්ද, ඒ මිනිස්සු, ‘ඔබ ගොස් අන් දෙවිවරුන්ට නමස්කාර කරන්න’ කියා මට දැන් සමිඳාණන් වහන්සේගේ උරුමයට හිමිකමක් නැති වන හැටියට මා පන්නාදැමූ හ.</verse>
				<verse number="20">සමිඳාණන් වහන්සේ ඉදිරියෙන් දුරු ව විදේශිකයෙකු මෙන් මාගේ ලේ බිම හැළෙන්නට ඉඩ නුදුන මැනව. කඳුවල වටුවෙකු පස්සේ එළවා යන්නෙකු මෙන් මා වැනි බලුමැක්කෙකු මැරීමට ඉශ්රායෙල්හි රජතුමා පිටත් ව එන්නේ කුමට ද?”</verse>
				<verse number="21">එවිට සාවුල් පිළිතුරු දෙමින්, “මම පව් කෙළෙමි; මාගේ පුත් දාවිත්, හැරී එන්න. අද දවසේ ඔබ මාගේ ප්‍රාණය ගරු කොට සැලකූ නිසා ඔබට තවත් මම හිංසා නොකරමි. මම මෝඩයෙකු මෙන් හැසිර, බොහෝ සේ මුළා වීමි”යි කීවේ ය.</verse>
				<verse number="22">දාවිත් පිළිතුරු දෙමින් මෙසේ කී ය: “රජ්ජුරුවන්ගේ හෙල්ලය මෙන්න. තරුණයන්-ගෙන් එක් කෙනෙක් මෙහි ඇවිත් ඒක ගෙන ගියා වේ.</verse>
				<verse number="23">සමිඳාණන් වහන්සේ එක එක තැනැත්තාට තම තමාගේ දැහැමිකම හා විශ්වාසවන්තකම ලෙස විපාක දෙන සේක් වා! සමිඳාණන් වහන්සේ අද ඔබ මා අතට පාවා දුන් නමුත්, මම සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධ ව අත ඔසවන්නට කැමැති නොවීමි.</verse>
				<verse number="24">ඉතින් අද දවසේ ඔබේ ප්‍රාණය මා ගරු කොට සැලකුවාක් මෙන් මාගේ ප්‍රාණය ද සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි දී ගරු කොට සලකනු ලැබේවා. උන් වහන්සේ සියලු විපත්තිවලින් මා ගළවන සේක් වා!”</verse>
				<verse number="25">එවිට සාවුල් කතා කොට, “දාවිත්, මාගේ පුත්‍රය, ඔබට ආශීර්වාද වේ වා! ඔබ ඉමහත් දේ කරන්නෙහි ය; ඒකාන්තයෙන් ම ජය ගන්නෙහි ය”යි දාවිත්ට කී ය. ඉන්පසු දාවිත් යන්නට ගියේ ය; සාවුල් ද සිය නිවෙසට හැරී ගියේ ය.</verse>
			</chapter>
			<chapter number="27">
				<verse number="1">දාවිත්ගේ සිතෙහි මෙවැනි කල්පනාවක් ඇති විය: “යම් දවසක සාවුල් අතින් මට මරණය පැමිණෙන්නේ ය. පිලිස්තිවරුන්ගේ දේශයට ගැළවී යාම මිස වෙන හොඳ විධියක් මට නැත. එවිට සාවුල් මුළු ඉශ්රායෙල් දේශය පුරා තවදුරටත් මා සොයා යෑමෙන් මත්තට වළකිනු ඇත. මෙසේ ඔහුගේ අතින් ගැළවී යෑමට මට පුළුවන් වන්නේ ය.”</verse>
				<verse number="2">මෙසේ සිතූ පසු දාවිත් ද ඔහු සමඟ සිටි මිනිස්සු හත්සියය ද පිටත් වී මායොක්ගේ පුත් ගාත්හි රජ වූ ආකීෂ් වෙත ගියහ.</verse>
				<verse number="3">දාවිත් සහ ඔහුගේ සෙනඟ ද ඔවුනොවුන්ගේ පවුල් ද දාවිත් සමඟ ඔහුගේ භාර්යාවන් දෙදෙනා වන ජෙශ්‍රෙයෙලීය අහිනොවම් සහ නාබල්ගේ භාර්යාව ව සිටි කර්මෙලීය අබිගායිල් ද ආකීෂ් රජු සමඟ ගාත්හි විසූ හ.</verse>
				<verse number="4">දාවිත් ගාත්ට පලා ගිය බව සාවුල්ට දන්වන ලද්දේ ය. එබැවින් ඔහු තවත් දාවිත් නොසෙව්වේ ය.</verse>
				<verse number="5">දාවිත් ආකීෂ් රජුට කතා කොට, “ඔබේ ඇස් හමුවෙහි මට කරුණාව ලැබී තිබේ නම්, මට වාසය කිරීමට පිටිසර නුවරක යම් ස්ථානයක් ලැබේවා. ඔබේ මෙහෙකරුවා ඔබ සමඟ රජ නුවර වාසය කරන්නේ කුමට දැ”යි කීවේ ය.</verse>
				<verse number="6">ආකීෂ් රජු ද ඒ දවසේ දී ශික්ලග් නුවර දාවිත්ට දුන්නේ ය. ඒ නිසා ශික්ලග් නුවර අද දක්වා ජුදාහි රජවරුන්ට අයිති ය.</verse>
				<verse number="7">දාවිත් පිලිස්තිවරුන්ගේ රටේ විසූ මුළු කාලය එක් අවුරුදු හාර මාසයකි.</verse>
				<verse number="8">දාවිත් ද ඔහුගේ සෙනඟ ද පිටත් ව ගෙෂුර්වරුන්ට ද ගිර්ශිවරුන්ට ද අමලෙක්වරුන්ට ද විරුද්ධ ආක්‍රමණයේ දී කොල්ලකෑමට ගියෝ ය. ඒ ජාතීහු ෂූර්ට යන මාවත දක්වා ද මිසර දේශය දක්වා ද යන ප්‍රදේශයේ පෙර සිට වාසය කළහ.</verse>
				<verse number="9">දාවිත් පුරුෂයෙකු වත්, ස්ත්‍රියක වත් ඉතිරි නොකර ඒ ප්‍රදේශයේ සියල්ලන් මරා දමා, බැටළුවන් ද ගවයන් ද කොටළුවන් ද ඔටුවන් ද වස්ත්‍ර ද පැහැරගෙන හැරී ආකීෂ් රජු වෙත පැමිණියේ ය.</verse>
				<verse number="10">“අද ඔබ කොයි පළාතට විරුද්ධ ව කොල්ලකෑම සඳහා ගියහු දැ”යි ආකීෂ් රජ ඇසුවේ ය. දාවිත් පිළිතුරු දෙමින්, “ජුදාහි දකුණු දිශාවට ද ජෙරාමෙයෙල්වරුන්ගේ දේශයේ දකුණු දිශාවට ද කේනිවරුන්ගේ දේශයේ දකුණු දිශාවට ද විරුද්ධ ව ගියෙමු”යි කී ය.</verse>
				<verse number="11">ගාත් නුවරට ගෙනෙන පිණිස දාවිත් පුරුෂයෙකු වත්, ස්ත්‍රියක වත් ඉතුරු කෙළේ නැත. මන්ද, “දාවිත් මේ මේ ආකාර දේ කෙළේ ය කියා ඔවුන් අපට විරුද්ධ ව කරුණු දන්වන්නට පුළුවනැ”යි ඔහු සිතූ බැවිනි. දාවිත් පිලිස්තිවරුන්ගේ රටේ විසූ මුළු කාලය තුළ ක්‍රියා කෙළේ මේ ආකාරයෙනි.</verse>
				<verse number="12">ආකීෂ් දාවිත් කෙරෙහි විශ්වාසය තබා, “ඔහු තමාගේ ම සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ පිළිකුල මුළුමනින් ම තමා පිට පමුණුවාගෙන ඇති බැවින් ඔහු සෑම කල්හි ම මාගේ මෙහෙකරුවා වනු ඇතැ”යි සිතාගත්තේ ය.</verse>
			</chapter>
			<chapter number="28">
				<verse number="1">ඒ දවස්වල දී පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටන් කරන පිණිස තමන්ගේ සේනා යුද්ධය සඳහා රැස් කළහ. ආකීෂ් දාවිත්ට කතා කොට, “ඔබ සහ ඔබේ සෙනඟ මාගේ හමුදාව කැටුව සටනට යා යුතු බව ඔබට දන්වා ඇතැ”යි කීවේ ය.</verse>
				<verse number="2">දාවිත් පිළිතුරු දෙමින්, “එසේ නම් ඔබේ මෙහෙකරුවා කරන දෙය ඔබ දැනගනු ඇතැ”යි ආකීෂ්ට කී ය. ආකීෂ් පිළිතුරු දෙමින්, “හොඳයි, මාගේ ජීවිතාන්තය දක්වා ඔබ මාගේ ආරක්ෂක භටයා කොට පත් කරමි”යි දාවිත්ට කී ය.</verse>
				<verse number="3">මේ කාලයේ දී සාමුවෙල් මියගොස් තිබිණි. සියලු ඉශ්රායෙල්වරු ඔහු ගැන වැලපී, ඔහුගේ ම නුවර වූ රාමාහි ඔහු තැන්පත් කළහ. සාවුල් ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද දේශයෙන් පහ කර තිබිණි.</verse>
				<verse number="4">පිලිස්තිවරු එක්රැස් වී අවුත්, ෂූනෙම්හි කඳවුරු බැඳගත්තෝ ය. සාවුල් ද සියලු ඉශ්රායෙල්වරුන් රැස් කෙළේ ය. ඔව්හු ගිල්බෝවාහි කඳවුරු බැඳගත්හ.</verse>
				<verse number="5">සාවුල් පිලිස්තිවරුන්ගේ සේනාව දුටු විට බිය විය; ඔහුගේ සිත ද බොහෝ සේ කම්පිත විය.</verse>
				<verse number="6">සාවුල් සමිඳාණන් වහන්සේගෙන් කරුණු විමසූ කල, උන් වහන්සේ ස්වප්නවලින් වත්, උරිම් පස ඇටවලින් වත්, දිවැසිවරුන් ලවා වත් ඔහුට පිළිතුරු නුදුන් සේක.</verse>
				<verse number="7">එවිට සාවුල් සිය සේවකයන්ට කතා කොට, “ආත්මබන්ධනකාරියක මට සොයා දෙන්න; මම ඈ වෙත ගොස් ඇගෙන් කරුණු විචාරන්නෙමි”යි කී ය. ඔහුගේ සේවකයෝ ද “ආත්මබන්ධනකාරියක් ඒන්දොර්හි සිටිනවා ය”යි කී හ.</verse>
				<verse number="8">සාවුල් අමුතු වස්ත්‍ර ඇඳ, වෙස්වළාගෙන මිනිසුන් දෙදෙනකු සමඟ ගොස්, රාත්‍රියේ ඒ ස්ත්‍රිය වෙත පැමිණ, ඈට කතා කොට, “ආත්මබන්ධනයෙන් මට පේන කියා, මා ඔබට නම් කරන ආත්මය කැඳවන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="9">ස්ත්‍රිය පිළිතුරු දෙමින්, “සාවුල් කළ දෙය, එනම්, ඔහු ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද දේශයෙන් පහකළ හැටි ඔබ දන්නෙහි ය. එසේ නම්, මා නසන පිණිස මාගේ ප්‍රාණයට මලපතක් තබන්නේ මන්දැ”යි ඔහුගෙන් ඇසුවා ය.</verse>
				<verse number="10">සාවුල් පිළිතුරු දෙමින්, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මේ කාරණය නිසා ඔබට කිසි දඬුවමක් නොවනු ඇතැ යි දිවුරා කියමි”යි ඈට කී ය.</verse>
				<verse number="11">එවිට ස්ත්‍රිය, “මම ඔබට කවරෙකු කැඳවා දෙම් දැ”යි ඇසුවා ය. “සාමුවෙල් මට කැඳවා දෙන්නැ”යි සාවුල් ඈට කී ය.</verse>
				<verse number="12">ඒ ස්ත්‍රිය සාමුවෙල් දුටු කල මහ හඬින් කෑගැසුවා ය. ඈ සාවුල්ට කතා කොට, “ඔබ මා රැවටුවේ මන් ද? ඔබ නම් සාවුල් ය”යි ඔහුට කීවා ය.</verse>
				<verse number="13">රජ ද, “බිය නොවන්නැ”යි කියා, “ඔබට පෙනෙන්නේ කුමක් දැ”යි ඇසුවේ ය. “අවතාරයක් පොළොවෙන් නැඟී එනවා”යි ස්ත්‍රිය සාවුල්ට කීවා ය.</verse>
				<verse number="14">“ඔහුගේ හැටි කොහොම දැ”යි ඔහු ඇගෙන් ඇසුවේ ය. ඈ පිළිතුරු දෙමින්, “මහලු මිනිසෙක් නැඟී එන්නේ ය; ඔහු සළුවක් පොරවාගෙන සිටින්නේ ය”යි කීවා ය. ඒ සාමුවෙල් බව සාවුල්ට දැනී ඔහු මුණින්තළා වී වැන්දේ ය.</verse>
				<verse number="15">එවිට සාමුවෙල් කතා කොට, “මා ආපසු කැඳවීමෙන් ඔබ මට කරදර කෙළේ මන්දැ”යි සාවුල්ගෙන් ඇසී ය. සාවුල් පිළිතුරු දෙමින්, “මම තද අමාරුවකට පත් ව සිටිමි; පිලිස්තිවරු මට විරුද්ධ ව යුද්ධ කරති; දෙවියන් වහන්සේ මා කෙරෙන් අහක් ව ගිය සේක; උන් වහන්සේ දැන් දිවැසිවරුන් ලවා වත්, ස්වප්නවලින් වත් මට පිළිතුරු දෙන්නේ නැත. එබැවින් මා කළ යුතු දේ ඔබ මට දන්වන පිණිස ඔබට අඬ ගැස්වීමි”යි කීවේ ය.</verse>
				<verse number="16">එවිට සාමුවෙල් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ ඔබ කෙරෙන් අහක් වී ඔබට විරුද්ධ ව සිටිද්දී ඔබ මාගෙන් අසන්නේ කුමක් නිසා ද?</verse>
				<verse number="17">සමිඳාණන් වහන්සේ මා ලවා ප්‍රකාශ කරවූ හැටියට ඉෂ්ට කළ සේක. සමිඳාණන් වහන්සේ ඔබ අතින් රජකම පැහැරගෙන ඔබේ අසල්වැසියා වන දාවිත්ට දුන් සේක.</verse>
				<verse number="18">උන් වහන්සේගේ බලවත් උදහස අනුව අමලෙක්වරුන්ට කළ යුතු දේ නොකර, උන් වහන්සේගේ හඬට කීකරු නොවූ බැවින් උන් වහන්සේ අද දවසේ මේ දෙය කළ සේක.</verse>
				<verse number="19">ඒ හැර සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන් අතට ඔබ සමඟ ඉශ්රායෙල්වරුන් පාවා දෙන සේක. හෙට ඔබ සහ ඔබේ පුත්‍රයන් මා සමඟ සිටිනු ඇත. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ගේ හමුදාවත් පිලිස්තිවරුන්ගේ අතට පාවා දෙන සේක.”</verse>
				<verse number="20">එවිට සාවුල් එකෙණෙහි ම බිම වැතිර සාමුවෙල් කී දේ නිසා අතිශයෙන් බියට පත් විය. ඔහු එදා මුළු දවාලෙහි වත්, රාත්‍රියෙහි වත් කෑම නොකෑ නිසා දුර්වල ව සිටියේ ය.</verse>
				<verse number="21">ඒ ස්ත්‍රිය සාවුල් ළඟට අවුත්, ඔහු බොහෝ සේ කැළඹී සිටින බව දැක, ඔහුට කතා කොට, “ඔබේ දාසී වන මම ඔබේ හඬට කීකරු ව මාගේ ජීවිතය නොසලකා ඔබ මට කී දේ කෙළෙමි.</verse>
				<verse number="22">ඒ නිසා දැන් ඔබේ දාසී කියන දේ අසා ඔබ ඉදිරියෙහි කෑම තබන්නට මට අවසර දී, ඔබ මාර්ගයෙහි යන කල ඔබට ශක්තිය ඇති වන පිණිස කෑම කනු මැනවැ”යි කීවා ය.</verse>
				<verse number="23">එහෙත්, සාවුල් අකමැති ව, “මම නොකමි”යි කී ය. කෙසේ වෙතත් ඔහුගේ සේවකයෝ ද ඒ ස්ත්‍රිය ද ඔහුට පෙරැත්ත කළ නිසා ඔහු ඔවුන්ගේ කීමට ඇහුම්කන් දී බිමින් නැඟිට ඇඳේ හිඳගත්තේ ය.</verse>
				<verse number="24">තර කරන ලද වස්සෙක් ඒ ස්ත්‍රියට ගෙදර සිටියේ ය. ඈ කඩිනමින් ඌ මරා, පිටි අරගෙන අනා, මුහුන් නොදැමූ රොටි පුළුස්සා,</verse>
				<verse number="25">ඒවා සාවුල් ද ඔහුගේ සේවකයන් ද ඉදිරියෙහි තැබුවා ය. ඔව්හු කෑම කා, නැඟිට ඒ රාත්‍රියේ ම පිටත් ව ගියහ.</verse>
			</chapter>
			<chapter number="29">
				<verse number="1">පිලිස්තිවරු ඔවුන්ගේ සියලු හමුදාවන් අපෙක් නම් ස්ථානයට රැස් කළහ. ඉශ්රායෙල්වරු ජෙශ්‍රෙයෙල්හි උල්පත ළඟ කඳවුරු බැඳගත්හ.</verse>
				<verse number="2">පිලිස්තිවරුන්ගේ අධිපතීහු සිය දහස් ගණන් වශයෙන් ආහ. දාවිත් ද ඔහුගේ සෙනඟ ද ආකීෂ් සමඟ ඔවුන්ට පස්සෙන් ආහ.</verse>
				<verse number="3">එවිට පිලිස්තිවරුන්ගේ අධිපතීහු, “මේ හෙබ්‍රෙව්වරුන් මෙහි කුමක් කරත් දැ”යි ඇසූ හ. එවිට ආකීෂ් පිලිස්තිවරුන්ගේ අධිපතීන්ට කතා කොට, “මේ තැනැත්තා ඉශ්රායෙල්වරුන්ගේ රජ වන සාවුල්ගේ සේවකයෙකු ව සිටි දාවිත් ය. මොහු දැන් කලක සිට, අවුරුදු ගණනක සිට මා සමඟ සිටියි; ඔහු මට එකතු වූ දා පටන් අද දක්වා ඔහු අතේ කිසි වරදක් මට දකින්නට ලැබුණේ නැතැ”යි කී ය.</verse>
				<verse number="4">එහෙත්, පිලිස්තිවරුන්ගේ අධිපතීහු ඔහු කෙරෙහි කෝප වී ඔහුට කතා කොට, “ඒ මිනිසා ඔබ නියම කළ ස්ථානයට ආපසු යන පිණිස ඔහු පිටත් කර හරින්න; ඔහු අප සමඟ යුද්ධයට යෑම සුදුසු නැත. සමහර විට සටන් බිමේ දී ඔහු අපට විරුද්ධ ව හැරෙන්නට බැරි කමක් නැත. මේ සෙනඟගේ හිස ගසා දැමීමෙන් මිස අන් කවර මඟකින් ඔහුට සිය ස්වාමියාගේ සිත දිනාගත හැකි ද?</verse>
				<verse number="5">මේ අර දාවිත් නොවේ ද? ‘මැරී සාවුල් දහස් ගණනක් මැරී දාවිත් දස දහස් ගණනක්’ කියමින් කාන්තාවන් නටමින් එකිනෙකාට ගී කීවේ මොහු ගැන නොවේ දැ”යි කී හ.</verse>
				<verse number="6">එවිට ආකීෂ් දාවිත් කැඳවා ඔහුට කතා කොට, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ම, ඔබ අවංක ව ම හැසුරුණු බව මම දිවුරා කියමි. ඔබ මා සමඟ අවුත් මේ යුද්ධයේ දී සටන් කරන්නෙහි නම් මම කැමැත්තෙමි. ඔබ මා ළඟට ආ දා පටන් අද දක්වා ඔබ අත කිසි වරදක් මට දක්නට ලැබුණේ නැත; එසේ වුවත් අධිපතීන් ඔබට කැමැති නැත.</verse>
				<verse number="7">එබැවින් පිලිස්තිවරුන්ගේ අධිපතීන් අප්‍රසන්න නොවන පිණිස දැන් සුව සේ ආපසු යන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="8">දාවිත් පිළිතුරු දෙමින්, “මම කුමක් කෙළෙම් ද? මා අවුත් මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ගේ සතුරන්ට විරුද්ධ ව සටන් කරන්නට මට බැරි වන විධියට මා ඔබ ඉදිරියට පැමිණි දා පටන් අද දවස දක්වා ඔබේ මෙහෙකරුවා වන මා අත ඔබට සම්බ වූ වරද කුමක් දැ”යි ආකීෂ්ගෙන් ඇසුවේ ය.</verse>
				<verse number="9">ආකීෂ් පිළිතුරු දෙමින්, “මට පෙනෙන හැටියට දෙවියන් වහන්සේගේ දූතයෙකු මෙන් ඔබ නිදොස් බව මම දනිමි. එහෙත්, පිලිස්තිවරුන්ගේ අධිපතීහු, ‘ඔබ අප කැටුව යුද්ධයට නොආ යුතු ය’යි කී හ.</verse>
				<verse number="10">එබැවින් ඔබ සමඟ පැමිණි ඔබේ ස්වාමියාගේ සේවකයන් සමඟ අලුයම නැඟිට එළිය වැටෙද්දී ම පිටත් ව යන්නැ”යි දාවිත්ට කීවේ ය.</verse>
				<verse number="11">මෙසේ දාවිත් ද ඔහුගේ සෙනඟ ද පිලිස්තිවරුන්ගේ දේශයෙන් හැරී යන පිණිස අලුයම පිටත් වුණෝ ය. පිලිස්තිවරු ද ජෙශ්‍රෙයෙලයට ගියහ.</verse>
			</chapter>
			<chapter number="30">
				<verse number="1">දාවිත් සහ ඔහුගේ සෙනඟ තුන් වන දා ශික්ලග් නගරයට පැමිණියහ. ඊට පෙර අමලෙක්වරු දකුණු දිශාවටත්, ශික්ලග්ටත් විරුද්ධ ව අවුත්, ශික්ලග්ට පහර දී ඒ නගරය ගින්නෙන් දවාදමා,</verse>
				<verse number="2">එහි සිටින ස්ත්‍රීන් ද ලොකු කුඩා සියල්ලන් ද වහල්කමට ගෙන, කිසිවෙකු නොමරා ඔවුන් අල්ලාගෙන පිටත් ව ගියහ.</verse>
				<verse number="3">දාවිත් ද ඔහුගේ සෙනඟ ද නුවරට පැමිණි කල, එය ගිනි ලා තිබෙන බවත්, ඔවුන්ගේ භාර්යාවන් ද දරුදැරියන් ද වහල්කමට ගෙන යන ලද බවත් දුටු හ.</verse>
				<verse number="4">එවිට දාවිත් ද ඔහු සමඟ සිටි සෙනඟ ද ඔවුන්ට තවත් හඬන්නට ශක්තිය නැති වන තුරු ම ශබ්ද නඟා ඇඬූ හ.</verse>
				<verse number="5">දාවිත්ගේ භාර්යාවන් දෙදෙනා වන ජෙශ්‍රෙයෙලීය අභිනොවම් ද කර්මෙලීය නාබල්ගේ භාර්යාව වී සිටි අබිගායිල් ද වහල්කමට ගෙනයනු ලැබූ හ.</verse>
				<verse number="6">දාවිත් දැන් තද අමාරුවකට පත් විය. මන්ද, සෙනඟ සියලු දෙනාගේ සිත් තම තමන්ගේ දරුදැරියන් ගැන ශෝක වූ බැවින් ඔව්හු දාවිත්ට ගල් ගසන්නට තර්ජනය කළහ. එහෙත්, දාවිත් සිය දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි තම ශක්තිය උපදවාගත්තේ ය.</verse>
				<verse number="7">දාවිත් අහිමෙලෙක්ගේ පුත් වූ අබියාතර් පූජකයා අමතා: “ඒපොද් සැට්ටය මා ළඟට ගෙනෙන්නැ”යි කී ය. අබියාතර් ඒපොද් සැට්ටය දාවිත් ළඟට ගෙනාවේ ය.</verse>
				<verse number="8">දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විචාරමින්, “මම මේ හමුදාව ලුහුබැඳ ගියොත්, ඔවුන් කරා පැමිණෙන්නට මට පුළුවන් වේ දැ”යි ඇසුවේ ය. උන් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ලුහුබැඳ යන්න; මන්ද, නුඹ සැබැවින් ම ඔවුන් කරා පැමිණ නොවරදවා සිරකරුවන් සියලු දෙනා ම නැවත ලබාගනු ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="9">එවිට දාවිත් ද ඔහු සමඟ සිටි සෙනඟ හයසියදෙනා ද පිටත් ව ගියහ. ඔව්හු බෙසොර් ඔය ළඟට පැමිණි විට සමහරෙක් එහි නැවතුණහ.</verse>
				<verse number="10">එහෙත්, දාවිත් සහ සෙනඟ හාරසියදෙනෙක් ලුහුබැඳ ගියහ. බෙසොර් ඔයෙන් යාමට බැරි තරම් වෙහෙස ව සිටි මිනිසුන් දෙසියයක් නතර වූ හ.</verse>
				<verse number="11">දාවිත්ගේ සෙනඟට නුවරෙන් පිටත දී මිසර වැසියෙක් සම්බ විය. ඔව්හු ඒ මිනිසා දාවිත් ළඟට ගෙනවුත්, කන්නට රොටි ද බොන්නට වතුර ද ඔහුට දුන්හ.</verse>
				<verse number="12">තවද, ඔව්හු අත්තික්කා කැටියකින් කැබැල්ලක් ද මුද්‍රික පල පොකුරු දෙකක් ද ඔහුට දුන්හ. ඔහු කෑ පසු ප්‍රාණවත් විය. මන්ද, ඔහු දවල් තුනකුත් රෑ තුනකුත් කෑම කෑවේ වත්, වතුර බීවේ වත් නැතුව සිටිය බැවිනි.</verse>
				<verse number="13">දාවිත් ඔහු අමතා, “ඔබ කාට අයිති ද? කොතැනින් ආයේ දැ”යි ඇසී ය. ඔහු පිළිතුරු දෙමින්, “මම අමෙලෙක් මනුෂ්‍යයෙකුගේ වහලෙකු ව සිටින මිසර ජාතික තරුණයෙක් ය; තුන් දවසකට පෙර මට අසනීප වූ බැවින් මාගේ ස්වාමියා මා අත්හැර දමා ගියේ ය.</verse>
				<verse number="14">අපි කෙරෙතිවරුන්ගේ දකුණු දිශාවටත්, ජුදාට අයිති දකුණු පළාතටත්, කාලෙබ්ගේ දකුණු දිශාවටත් විරුද්ධ ව යුද්ධ කෙළෙමු; ශික්ලග් නුවර ගිනිබත් කෙළෙමු”යි කී ය.</verse>
				<verse number="15">“ඒ හමුදාව ළඟට යන්නට ඔබ මට මඟ පෙන්වන්නෙහි දැ”යි දාවිත් ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “මා නොමරන හැටියටත්, මාගේ ස්වාමියා අතට පාවා නොදෙන හැටියටත් දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබ මට දිවුරුම් දුන්නොත් මම ඒ හමුදාව ළඟට පැමිණෙන්නට ඔබට මඟපෙන්වමි”යි කී ය.</verse>
				<verse number="16">ඔහු දාවිත් ඒ ස්ථානයට පැමිණෙව්වේ ය. එවිට ඔවුන් පිලිස්තිවරුන්ගේ දේශයෙනුත්, ජුදා දේශයෙනුත් ගත් ඉමහත් කොල්ලය කමින්, බොමින්, නටමින් සෑම තැන ම විසිරී සිටියහ.</verse>
				<verse number="17">දාවිත් ඇඳිරි වේලේ පටන් පසු දින සවස දක්වා ඔවුන්ට පහර දුන්නේ ය. ඔටුවන් පිට නැඟී පලා ගිය තරුණයන් හාරසියයක් හැර ඔවුන්ගෙන් වෙන කිසිවෙක් ගැළවුණේ නැත.</verse>
				<verse number="18">මෙසේ දාවිත් අමලෙක්වරුන් ගෙන ගිය සියල්ලන් ද තමාගේ භාර්යාවන් දෙදෙනා ද ගළවාගත්තේ ය.</verse>
				<verse number="19">ලොකු කුඩා සියල්ලන්ගෙන් ද දරුදැරියන්ගෙන් ද කිසිවකු වත්, කොල්ලය වත්, ඔවුන් ගත් කිසිවක් වත් අඩු නැතිව සියල්ල ම දාවිත් නැවත ගෙනාවේ ය.</verse>
				<verse number="20">සියලු එළු බැටළුවන් ද ගවයන් ද දාවිත් ගත්තේ ය. ඔහුගේ සෙනඟ උන් අනික් සිවුපාවුන්ට පෙරටුවෙන් දක්කමින්, “මෙය දාවිත්ට අයිති කොල්ලය ය”යි කී හ.</verse>
				<verse number="21">දාවිත් සමඟ යන්නට බැරි තරම් වෙහෙස වී සිටි, බෙසොර් ඔය ළඟ නතර කරන ලද මිනිසුන් දෙසියය ළඟට දාවිත් පැමිණි විට, ඔව්හු දාවිත් සහ ඔහු සමඟ සිටි සෙනඟගේ පෙරමඟට පැමිණියහ. දාවිත් සෙනඟ ළඟට ආ කල ඔව්හු ආචාර කළහ.</verse>
				<verse number="22">එවිට දාවිත් සමඟ ගිය සෙනඟ අතරෙන් නපුරු, දුදන මිනිසුන් සියලු දෙනා කතා කොට, “අප සමඟ නොගිය මිනිසුන්ට අප ගළවා ගත් කොල්ලයෙන් කිසිවක් නොදෙමු. ඔවුන් එකිනෙකාට තම තමන්ගේ භාර්යාවන් ද දරුදැරියන් ද රැගෙන යන්නට පමණක් දෙමු”යි කී හ.</verse>
				<verse number="23">එවිට දාවිත් මෙසේ කී ය: “මාගේ සහෝදරයෙනි, සමිඳාණන් වහන්සේ අපට දුන් දේවල් ගැන එසේ නොකරන්න. උන් වහන්සේ අප ආරක්ෂා කර, අපට විරුද්ධ ව පැමිණි හමුදාව අප අතට පාවා දුන් සේක.</verse>
				<verse number="24">ඔබ කියන දේට සවන් දෙන්නේ කවරෙක් ද? සියලු දෙනා ම එක හා සමාන ව බෙදාගත යුතු ය; යුද්ධයට යන අයගේ කොටසත්, බඩු ළඟ නැවතී සිටින අයගේ කොටසත් එක හා සමාන විය යුතු ය.”</verse>
				<verse number="25">එදා දාවිත් කී දේ, පණතක් හා නියෝගයක් හැටියට නියම කෙළේ ය. එදා පටන් අද දක්වා ඉශ්රායෙල් ජනයා විසින් එය පිළිපදිනු ලැබේ.</verse>
				<verse number="26">දාවිත් ශික්ලග් නුවරට පැමිණි විට තමාගේ මිත්‍රයන් වන ජුදාහි ප්‍රජා මූලිකයන්ට කොල්ලයෙන් කොටසක් යවමින්, “මෙන්න, සමිඳාණන් වහන්සේගේ සතුරාගෙන් ගත් කොල්ලයෙන් ඔබට තෑගි ය”යි කියා යැවී ය.</verse>
				<verse number="27">එසේ යැව්වේ, බෙතෙල්හි ද දකුණු රාමොත්හි ද යත්තීර්හි ද</verse>
				<verse number="28">අරෝයෙර්හි ද සිප්මෝත්හි ද එෂ්තෙමෝවාහි ද</verse>
				<verse number="29">රාකාල්හි ද ජෙරාමෙයෙල්වරුන්ගේ නුවරවල ද කේනිවරුන්ගේ නුවරවල ද</verse>
				<verse number="30">හොර්මාහි ද බෝර්ආෂාන්හි ද අතාක්හි ද</verse>
				<verse number="31">හෙබ්‍රොන්හි ද දාවිත් සහ ඔහුගේ සෙනඟ ගැවසුණ සියලු තැන්හි ද සිටි ප්‍රජා මූලිකයන් වෙත ය.</verse>
			</chapter>
			<chapter number="31">
				<verse number="1">පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කළහ. එවිට ඉශ්රායෙල් සෙනඟ පිලිස්තිවරුන් වෙතින් පලා ගොස් ගිල්බෝවා කන්දේ දී මැරුම් කා වැටුණෝ ය.</verse>
				<verse number="2">පිලිස්තිවරු සාවුල් ද ඔහුගේ පුත්‍රයන් ද ලුහුබැඳ ගොස් සාවුල්ගේ පුත්‍රයන් වන ජොනතන් ද අබිනාදාබ් ද මල්කිෂුවා ද මැරූ හ.</verse>
				<verse number="3">සටන සාවුල්ට විරුද්ධ ව බලවත් විය; දුනුවායෝ ඔහුටත් ළං වූ හ. ඔහු දුනුවායන්ගෙන් තදින් තුවාළ ලැබුවේ ය.</verse>
				<verse number="4">එවිට සාවුල් තම ආයුධ රැගෙන යන්නාට කතා කොට, “අර අචර්මඡේදිතයන් ඇවිත් මට ඇන අවනම්බු නොකරන පිණිස කඩුව ඇද මට අනින්නැ”යි කී ය. එහෙත්, ඔහුගේ ආයුධ ගෙනයන්නා එසේ කිරීමට කැමැති නො වී ය. මන්ද, ඔහු ඉතා බිය ව සිටියේ ය. එවිට සාවුල් තමාගේ කඩුව රැගෙන එය පිට වැටී මැරුණේ ය.</verse>
				<verse number="5">සාවුල් මැරුණ බව ඔහුගේ ආයුධ ගෙනයන්නා දුටු විට ඔහු ද තමාගේ කඩුව පිට වැටී සාවුල් සමඟ මළේ ය.</verse>
				<verse number="6">මෙසේ සාවුල් ද ඔහුගේ පුත්‍රයන් තිදෙනා ද ඔහුගේ ආයුධ ගෙනයන්නා ද ඔහුගේ සියලු සෙනඟ ද ඒ දවසේ දී එක විට ම මරණයට පත් වූ හ.</verse>
				<verse number="7">ඉශ්රායෙල් සෙනඟ පලා ගිය බවත්, සාවුල් ද ඔහුගේ පුත්‍රයන් ද මැරුණු බවත් මිටියාවතට මේ පැත්තේ ද ජොර්දානෙන් එගොඩ ද සිටි ඉශ්රායෙල් සෙනඟ දුටු විට ඔව්හු නගර අත්හැර පලා ගියහ. පිලිස්තිවරු අවුත් ඒ නගරවල වාසය කළහ.</verse>
				<verse number="8">පසු දා පිලිස්තිවරුන් මරන ලද අයගේ යුද්ධායුධ පැහැර ගැනීමට ආ කල සාවුල් ද ඔහුගේ පුත්‍රයන් තුන්දෙනා ද ගිල්බෝවා කන්දේ වැටී සිටිනු ඔවුන්ට සම්බ විය.</verse>
				<verse number="9">ඔව්හු සාවුල්ගේ හිස කපා දමා ඔහුගේ ආයුධ ගලවා, එපවත් තමන්ගේ දේවාලවලත්, සෙනඟ අතරේත් ප්‍රකාශ කරන පිණිස පිලිස්තිවරුන්ගේ දේශය මුළුල්ලෙහි පණිවුඩකාරයන් යැවූ හ.</verse>
				<verse number="10">ඔව්හු සාවුල්ගේ ආයුධ අෂ්ටාරොත්ගේ දේවාලයෙහි තැබූ හ; ඔහුගේ ශරීරය බෙත්ෂාන් නගරයේ පවුරට සවි කොට තැබූහ.</verse>
				<verse number="11">පිලිස්තිවරුන් සාවුල්ට කළ දේ ගැන ජාබෙෂ්-ගිලියද් වැසියන් ඇසූ කල,</verse>
				<verse number="12">ඔවුන් අතරෙන් සියලු නිර්භීත මනුෂ්‍යයෝ නැඟිට මුළු රෑ බෙත්ෂාන්ට ගමන් කොට පවුරෙන් සාවුල්ගේ මළකඳ ද ඔහුගේ පුත්‍රයන්ගේ මළකඳන් ද ජාබෙෂ්ට ගෙන අවුත් එහි දී ඒවා ආදාහන කළහ.</verse>
				<verse number="13">ඉන්පසු ඔව්හු ඔවුන්ගේ ඇටකටු රැගෙන ජාබෙෂ්හි ඒෂෙල් ගස යට වළලා සත් දවසක් උපවාස කළහ.</verse>
			</chapter>
		</book>
		<book number="10">
			<chapter number="1">
				<verse number="1">සාවුල්ගේ මරණයෙන් පසු දාවිත් අමලෙක්වරුන් නසා, පෙරළා අවුත් දෙදවසක් ශික්ලග්හි නැවතී සිටියේ ය.</verse>
				<verse number="2">තුන් වන දවසේ දී මිනිසෙක් තමාගේ ඇඳුම් ඉරාගෙන, හිසේ පස් දමාගෙන සාවුල්ගේ කඳවුරෙන් නික්ම ආවේ ය. ඔහු දාවිත් ළඟට පැමිණි විට බිම වැටී වැන්දේ ය.</verse>
				<verse number="3">“ඔබ කොතැනින් ආවෙහි දැ”යි දාවිත් ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “මම ඉශ්රායෙල් කඳවුරෙන් ගැළවී ආවෙමි”යි ඔහුට පිළිතුරු දුන්නේ ය.</verse>
				<verse number="4">එවිට දාවිත්, “එහි සිදු වූයේ කිමෙක් දැ යි මට කියන්නැ”යි ඔහුට කීවේ ය. ඔහු පිළිතුරු දෙමින්, “සෙනඟ යුද්ධයෙන් පලා ගියහ; ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මැරී වැටුණෝ ය; සාවුල් ද ඔහුගේ පුත් ජොනතන් ද මැරුණෝ ය”යි කීවේ ය.</verse>
				<verse number="5">එකල දාවිත් මෙපවත් සැළ කළ ඒ තරුණයාගෙන්, “සාවුල් හා ඔහුගේ පුත් ජොනතන් මළ බව ඔබ දන්නේ කොහොම දැ”යි ඇසී ය.</verse>
				<verse number="6">එපවත් ඔහුට සැළ කළ තරුණයා ඔහුට කතා කොට, “මම ගිල්බෝවා කන්දට අහම්බෙන් පැමිණියෙමි. ඒ වේලාවේ දී සාවුල් තමාගේ හෙල්ලයට හේත්තු වී සිටියේ ය; රථ හා අසරුවෝ ඔහු පසුපස වේගයෙන් එළවාගෙන ආහ.</verse>
				<verse number="7">ඔහු පස්සට හැරී මා දැක මට අඬගැසී ය. ‘මම මෙහි ය’යි මම උත්තර දිනිමි.</verse>
				<verse number="8">‘ඔබ කවුදැ’යි ඔහු මාගෙන් ඇසී ය. ‘මම අමලෙක් ජාතිකයෙක්මි’යි ඔහුට පිළිතුරු දිනිමි.</verse>
				<verse number="9">ඔහු මට කතා කොට, ‘මා ළඟ සිට මා මරන්න. මන්ද, මට තවමත් පණ තිබුණත් මම බොහෝ වේදනාවෙන් පසු වෙමි’යි කී ය.</verse>
				<verse number="10">එවිට මම ඔහු ළඟ සිට ඔහු මැරුවෙමි. මා එසේ කෙළේ, ඔහු වැටුණු වහා ම ජීවත් නොවන බව සහතික ලෙස මා දැන සිටි බැවිනි. මම ඔහුගේ හිස මත තිබුණු කිරීටය ද අතේ දමා තිබුණු වළල්ල ද රැගෙන මෙහි මාගේ ස්වාමියා ළඟට ගෙනාවෙමි”යි කීවේ ය.</verse>
				<verse number="11">එවිට දාවිත් ශෝකයෙන් පිරී තමාගේ වස්ත්‍ර ඇද ඉරා දැමුවේ ය. ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද එසේ කළහ.</verse>
				<verse number="12">ඔව්හු සාවුල් ද ඔහුගේ පුත් ජොනතන් ද සමිඳාණන් වහන්සේගේ සෙනඟ ද ඉශ්රායෙල් වංශය ද යුද්ධයේ දී මැරුම් කෑ බැවින් ඔවුන් ගැන හඬා වැලපෙමින් හවස දක්වා නිරාහාර ව සිටියහ.</verse>
				<verse number="13">දාවිත් තමාට ඒ සිද්ධිය සැළ කළ තරුණයාට කතා කොට, “ඔබ කොහේ කෙනෙක් දැ”යි ඇසී ය. “මම විදේශිකයෙකු වන අමලෙක් ජාතිකයෙකුගේ පුතෙක් වෙමි”යි ඔහු පිළිතුරු දුන්නේ ය.</verse>
				<verse number="14">දාවිත් ද, “සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා නැසීමට භය නැති ව ඔබේ අත එසෙව්වේ කෙසේ දැ”යි ඔහුට කියා,</verse>
				<verse number="15">තරුණයන්ගෙන් එක් කෙනෙකුට අඬ ගසා, “ඔබ ගොස් ඔහුට පහර දෙන්නැ”යි කී ය. ඔහු ද පහර දී ඒ තරුණයා මැරුවේ ය.</verse>
				<verse number="16">දාවිත් කතා කරමින්, “මේ ලේ වැගිරීමේ වරදට වගකිව යුත්තේ ඔබ ම ය. මන්ද, ‘මම සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා මැරුවෙමි’යි කීමෙන් ඔබ ඔබේ ම කටින් ඔබට විරුද්ධ ව සාක්ෂි දුන්නෙහි ය”යි කීවේ ය.</verse>
				<verse number="17">සාවුල් හා ඔහුගේ පුත් ජොනතන් ගැන මේ විලාප ගීය ගයමින් දාවිත් වැලපිණි.</verse>
				<verse number="18">ඒ ගීය ජුදා ජනයාට උගන්වන්නටත් නියම කෙළේ ය. එය ජාෂාර්ගේ පොතේ සඳහන් වී ඇත.</verse>
				<verse number="19">“අහෝ, ඉශ්රායෙල් දේශය! ඔබේ තේජස ගිරිකුළු මුදුනෙහි අතුරුදන් වී ඇත. අහෝ! බලවතුන් වැටුණු හැටි!</verse>
				<verse number="20">ඒ ගැන ගාත්හි නො‍කියන්න; අෂ්කෙළො‍න් වීදිවල පළ නො‍කරන්න; එසේ කළො‍ත්, පිලිස්තිවරුන්ගේ දූවරුන් ප්‍රීති වනු ඇත; විජාතිකයන්ගේ දූවරුන් ජය ඝෝෂා නඟනු ඇත.</verse>
				<verse number="21">එම්බා ගිල්බෝවා කඳු හෙල්! තොප පිට පිනි වත්, වැසි වත් නොවැටේ වා! එහි කෙත්වතු පාළු වී යේ වා! මන්ද, බලවතුන්ගේ පලිහ කෙලෙසී ඇත. සාවුල්ගේ පලිහ තෙලින් ආලේප නො‍කර ඇත.</verse>
				<verse number="22">එහෙත්, මරන ලද්දවුන්ගේ ලෙයින් ද සෙබළුන්ගේ තෙලින් ද එය ආලේප කර ඇත. ජොනතන්ගේ දුන්න මාරක අවියක් විය. සාවුල්ගේ කඩුව ද ජයෙන් තොර ව හැරී නාවේ ය.</verse>
				<verse number="23">සාවුල් හා ජොනතන් ජීවත් ව සිටිය දී සෙනෙහසින් හා සතුටින් බැඳී සිටියහ. ජීවිතේ දී හෝ මරණයේ දී හෝ ඔවුහු වෙන් නො‍ වූ හ. ඔවුහු රාජාලීන්ට වඩා වේගවත් වූ හ; සිංහයන්ට වඩා බලවත් වූ හ.</verse>
				<verse number="24">ඉශ්රායෙල් දූවරුනි, පියකරු රතු වස්ත්‍ර ඔබට පැළඳවූ, ඔබේ වස්ත්‍ර රන් ආභරණවලින් සැරසූ සාවුල් ගැන හඬන්න.</verse>
				<verse number="25">අහෝ, බලවතුන් රණ බිම මැද දී වැටුණු හැටි! අහෝ ජොනතන්! ගිරිකුළු මුදුනෙහි ඔබ මැරුම් කෑවෙහි ය.</verse>
				<verse number="26">මාගේ සොහොයුරු වන ජොනතන්, ඔබ ගැන මම වියෝ දුකින් පසු වෙමි. ඔබ මට ඉතා පියකරු ව සිටියෙහි ය. මා කෙරෙහි වූ ඔබේ ආදරය පුදුම ය; වනිතාවකගේ ආදරයට වඩා මහත් ය.</verse>
				<verse number="27">අහෝ, බලවතුන් වැටුණු හැටි! යුද්ධ ආයුධත් විනාශ වුණ හැටි!</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">ඉන්පසු දාවිත්, “මා ජුදාහි නගරයකට යන්නට දැ”යි සමිඳාණන් වහන්සේගෙන් විමසුවේ ය. “යන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක. “මා කොයි නගරයට යන්නට දැ”යි දාවිත් ඇසුවේ ය. “හෙබ්‍රොන් නගරයට ය”යි උන් වහන්සේ වදාළ සේක.</verse>
				<verse number="2">එවිට දාවිත් ද ඔහුගේ භාර්යාවන් දෙදෙනා වන ජෙශ්‍රෙයෙලීය අහිනොවම් ද කර්මෙලීය නාබල්ගේ බිරිඳ ව සිටි අබිගායිල් ද එහි ගියහ.</verse>
				<verse number="3">දාවිත් තමා සමඟ සිටි තමාගේ මිනිසුන් ඔවුන් එකිනෙකාගේ ගෙයි වැසියන් සමඟ කැඳවාගෙන ආයේ ය. ඔව්හු හෙබ්‍රොන් නගරවල වාසය කළහ.</verse>
				<verse number="4">තවද, ජුදාහි සෙනඟ අවුත් එහි දී දාවිත් ජුදා වංශයේ රජු වශයෙන් අභිෂේක කළහ. “සාවුල් තැන්පත් කරනු ලැබුවේ ජාබෙෂ්-ගිලියද් මිනිසුන් විසින් ය”යි දාවිත්ට දන්වන ලද්දේ ය.</verse>
				<verse number="5">දාවිත් ජාබෙෂ්-ගිලියද් මිනිසුන් වෙත පණිවුඩයක් යවමින් මෙසේ කීවේ ය: “ඔබේ ස්වාමියා වූ සාවුල්ට ඔබ පක්ෂපාත ව සිට ඔහු තැන්පත් කළ බැවින් සමිඳාණන් වහන්සේගෙන් ඔබට ආශීර්වාද ලැබේ වා!</verse>
				<verse number="6">දැන් සමිඳාණන් වහන්සේ ඔබට කරුණාවත්, විශ්වාසවන්තකමත් පෙන්වන සේක් වා! ඔබ මේ දේ කළ නිසා මමත් එසේ ම ඔබට යහපත කරන්නෙමි.</verse>
				<verse number="7">එබැවින් ඔබේ අත් බලවත් වේ වා! වික්‍රමාන්විත ව සිටින්න. මන්ද, ඔබේ ස්වාමි වූ සාවුල් මිය ගිය නමුත්, ජුදා වංශය කෙරෙහි රජු වශයෙන් ඔව්හු මා අභිෂේක කළහ.”</verse>
				<verse number="8">තවද, නේර්ගේ පුත්, සාවුල්ගේ සේනාපති වූ අබ්නේර් සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත් කැඳවාගෙන මහනයිම්ට ගොස්,</verse>
				<verse number="9">ගිලියද්වරුන්, අෂූර්වරුන්, ජෙශ්‍රෙයෙල්වරුන්, එප්‍රායිම්වරුන්, බෙන්ජමින්වරුන් සහ සියලු ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඔහු රජකමට පත් කෙළේ ය.</verse>
				<verse number="10">සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත් ඉශ්රායෙල්හි රජකම් කරන්නට පටන් ගන්න කල ඔහු අවුරුදු සතළිසක් වයස් ව සිටියේ ය. ඔහු දෑවුරුද්දක් රජකම් කෙළේ ය. එහෙත්, ජුදා වංශය පමණක් දාවිත්ට පක්ෂපාත වුණේ ය.</verse>
				<verse number="11">දාවිත් හෙබ්‍රොන්හි ජුදා වංශයට රජ ව සිටි කාලය සත් අවුරුදු හය මාසයක් ය.</verse>
				<verse number="12">නේර්ගේ පුත් අබ්නේර් ද සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත්ගේ සේවකයෝ ද මහනයිම් සිට පිටත් ව ගිබියොන් නගරයට ගියහ.</verse>
				<verse number="13">ශෙරුයාගේ පුත් ජෝවාබ් ද දාවිත්ගේ සේවකයෝ ද පිටත් ව ගොස් ගිබියොන් පොකුණ ළඟ දී මුණගැසී, එක පක්ෂයක් පොකුණේ එක පැත්තක ද අනෙක් පක්ෂය පොකුණේ අනෙක් පැත්තේ ද නැවතුණාහ.</verse>
				<verse number="14">“තරුණයෝ නැඟිට අප ඉදිරියෙහි ක්‍රීඩා කරත් වා”යි අබ්නේර් ජෝවාබ්ට කී ය. ජෝවාබ් ද, “ඔව්හු එසේ කරත් වා”යි කීවේ ය.</verse>
				<verse number="15">එවිට සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත්ට අයිති බෙන්ජමින්වරුන්ගෙන් ගණන් වශයෙන් දොළො‍ස් දෙනෙක් ද දාවිත්ගේ සේවකයන්ගෙන් දොළො‍ස් දෙනෙක් ද නැඟිට ගියහ.</verse>
				<verse number="16">එවිට ඔව්හු එකිනෙකා තම තමාගේ විරුද්ධකාරයාගේ හිස අල්ලා, කඩුවෙන් ළපැත්තට ඇන එකට වැටුණෝ ය. එබැවින් ගිබියොන් ළඟ තිබෙන ඒ ස්ථානයට මුවහත් පිහියා කෙත යන අර්ථය ඇති හෙල්කත්-හශ්ශුරීම් යන නම තබන ලද්දේ ය.</verse>
				<verse number="17">ඒ දවසේ දී බලවත් සටනක් ඇති විය. අබ්නේර් ද ඉශ්රායෙල් සෙනඟ ද දාවිත්ගේ සේවකයන්ට පැරදුණෝ ය.</verse>
				<verse number="18">ශෙරුයාගේ පුත්‍රයන් තිදෙනා වන ජෝවාබ්, අබිෂයි සහ අසාහෙල් එහි සිටියහ. අසාහෙල්ට වනයේ මුවෙකුට මෙන් වේගයෙන් දිවීමේ ශූරතාව තිබුණේ ය.</verse>
				<verse number="19">අසාහෙල්, අබ්නේර් ලුහුබැඳ යනුයේ, දකුණට වත්, වමට වත් නො‍හැරී අබ්නේර් පස්සේ ගියේ ය.</verse>
				<verse number="20">එවිට අබ්නේර් පස්සට හැරී, “ඔබ අසාහෙල් දැ”යි ඇසී ය. “එසේ ය”යි ඔහු කී ය.</verse>
				<verse number="21">අබ්නේර්, “ඔබ දකුණට හෝ වමට හෝ හැරී, තරුණයන්ගෙන් එක් කෙනෙකු අල්ලාගෙන, ඔහුගේ ආයුධ පැහැරගන්නැ”යි ඔහුට කී ය. එහෙත්, අසාහෙල් ඔහු වෙතින් අහක් ව යන්නට කැමැති නො‍ වී ය.</verse>
				<verse number="22">නැවතත් අබ්නේර්, “මා වෙතින් අහක් ව යන්න. මා ඔබට ගසා බිම හෙළන්නේ කුමට ද? එසේ කළො‍ත්, මා ඔබේ සහෝදර වන ජෝවාබ්ට මුහුණ දෙන්නේ කොහොම දැ”යි අසාහෙල්ට කී ය.</verse>
				<verse number="23">එහෙත්, ඔහු අහක් ව යන්නට අකමැති විය. එබැවින් අබ්නේර් හෙල්ල මිටේ අගින් ඔහුගේ බඩට ඇන්නේ ය. ඇන්න හෙල්ලය ඔහුගේ පිට පසාරු කරගෙන එළියට ආවේ ය. ඔහු එතැන ම වැටී මළේ ය. තවද, අසාහෙල් වැටී මැරුණු ස්ථානයට ආ විට සියල්ලෝ ම නතර වූ හ.</verse>
				<verse number="24">එහෙත්, ජෝවාබ් සහ අබිෂයි, අබ්නේර් ලුහුබැඳ ගොස් ඉර බැස ගිය විට ගිබියොන් පාළුකරයට යන මාර්ගයෙහි ගීයා ඉදිරිපිට තිබෙන අම්මා හෙලට පැමිණියහ.</verse>
				<verse number="25">බෙන්ජමින්වරු අබ්නේර් වෙත රැස් වී එක කණ්ඩායමක් ව හෙලක් මුදුනේ නැවතී සිටියහ.</verse>
				<verse number="26">එවිට අබ්නේර් ජෝවාබ්ට අඬගසා, “මේ ඝාතනය සදහට ම කළ යුතු ද? එයින් අවසානයේ දී උග්‍ර දුක හටගන්න බව ඔබ නො‍දන්නෙහි ද? එසේ වී නම්, තමන්ගේ සහෝදරයන් ලුහුබැඳ යාමෙන් හැරී එන්නට කියා අණ නො‍කර ඔබ කොපමණ කල් සිටින්නෙහි දැ”යි ඇසී ය.</verse>
				<verse number="27">ජෝවාබ් කතා කරමින්, “සැබැවින් ම ඔබ කතා නො‍කෙළෙහි නම්, සෙනඟ තමන්ගේ සහෝදරයන් උදේ වනතෙක් ලුහුබැඳ යන්නට ඉඩ තිබිණි යයි ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් මම දිවුරා කියමි”යි කීවේ ය.</verse>
				<verse number="28">එවිට ජෝවාබ් හොරණෑව පිම්බේ ය; මුළු සෙනඟ ද නැවතුණාහ. ඔවුන් තවත් ඉශ්රායෙල්වරුන් පසුපස ලුහුබැඳ ගියේ වත්, යුද්ධ කෙළේ වත් නැත.</verse>
				<verse number="29">අබ්නේර් සහ ඔහුගේ සෙනඟ ඒ රාත්‍රිය මුළුල්ලෙහි අරබා සමභූමිය මැදින් ගොස් ජොර්දානින් එගොඩ ව, මුළු උදේ වරුවේ ගමන් කොට මහනයිම් නගරයට පැමිණියහ.</verse>
				<verse number="30">ජෝවාබ්, අබ්නේර් ලුහුබැඳ යාමෙන් හැරී අවුත් මුළු ජනයා රැස් කෙළේ ය. එවිට දාවිත්ගේ සේවකයන්ගෙන් මිනිසුන් දහනවදෙනෙකු ද අසාහෙල් ද නැති බව පෙනී ගියේ ය.</verse>
				<verse number="31">එහෙත්, දාවිත්ගේ සේවකයෝ බෙන්ජමින්වරුන්ගෙන් ද අබ්නේර්ගේ මිනිසුන්ගෙන් ද තුන්සිය හැටදෙනෙකුට පහර දී මැරූ හ.</verse>
				<verse number="32">ඔව්හු අසාහෙල් රැගෙන බෙත්ලෙහෙම්හි තිබුණ ඔහුගේ පියාගේ සොහොන් ගෙයි තැන්පත් කළෝ ය. ජෝවාබ් ද ඔහුගේ සෙනඟ ද මුළු රාත්‍රියේ ගමන් කර එළි වන විට හෙබ්‍රොන් නගරයට පැමිණියහ.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">සාවුල්ගේ වංශයත්, දාවිත්ගේ වංශයත් අතරේ බොහෝ කල් යුද්ධ පැවතුණේ ය. දාවිත් වනාහි වඩ වඩා බලවත් වන අතර, සාවුල්ගේ වංශය වඩ වඩා බල හීන වේගෙන ගියේ ය.</verse>
				<verse number="2">හෙබ්‍රොන්හි දාවිත්ට පුත්‍රයෝ උපන්නාහ. ඔහුගේ කුලුඳුලා නම්, ජෙශ්‍රෙයෙලීය අහිනොවම්ගෙන් උපන් අම්නො‍න් ය;</verse>
				<verse number="3">දෙවැනියා කර්මෙලීය නාබල්ගේ බිරිඳ ව සිටි අබිගායිල්ගෙන් උපන් කිලෙයාබ් ය; තුන්වැනියා ගෙෂූර්හි රජ වූ තලමයිගේ දුව වන මයකාගේ පුත් අබ්සලොම් ය;</verse>
				<verse number="4">සතරවැනියා හග්ගිත්ගේ පුත් අදොනියා ය; පස්වැනියා අබිටල්ගේ පුත් ෂෙපටියා ය;</verse>
				<verse number="5">සවැනියා දාවිත්ගේ බිරිඳ වන එග්ලාගෙන් උපන් ඉත්රෙයාම් ය. මොවුහු හෙබ්‍රොන්හි දී දාවිත්ට උපන්නාහ.</verse>
				<verse number="6">සාවුල්ගේ වංශය ද දාවිත්ගේ වංශය ද අතරේ යුද්ධය පැවතෙද්දී, අබ්නේර් සාවුල්ගේ වංශයෙහි එන්න එන්න බලවත් විය.</verse>
				<verse number="7">ආයාගේ දුව වන රිශ්පා නම් උපභාර්යාවක් සාවුල්ට සිටියා ය. “ඔබ මාගේ පියාගේ උපභාර්යාව සමඟ සයනය කෙළේ මන්දැ”යි ඊෂ්-බොෂෙත් අබ්නේර්ගෙන් ඇසී ය.</verse>
				<verse number="8">එවිට අබ්නේර්, ඊෂ්-බොෂෙත්ගේ ප්‍රශ්නය ගැන ඉතා කෝප වී, “මම ජුදාට දාස වූ නරි බල්ලෙක් ද? මම දාවිත්ගේ අතට ඔබ අසු කරනො‍දී, අද දක්වා ඔබේ පියා වන සාවුල්ගේ වංශයටත්, ඔහුගේ සහෝදරයන්ටත්, ඔහුගේ මිත්‍රයන්ටත් කරුණාව පෙන්නුවෙමි. එහෙත්, අද ඔබ මේ ස්ත්‍රිය සම්බන්ධයෙන් මට දොස් නඟන්නෙහි ය.</verse>
				<verse number="9">සමිඳාණන් වහන්සේ දාවිත්ට දිවුළ ලෙස, මම ඔහුට නො‍කෙළෙම් නම්, දෙවියන් වහන්සේ අබ්නේර්ට ඉතා තදින් දඬුවම් කරන සේක් වා!</verse>
				<verse number="10">එසේ කළ යුත්තේ, රජකම සාවුල්ගේ වංශයෙන් පහකර, දාවිත්ගේ සිංහාසනය දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා ඉශ්රායෙල්වරුන් ද ජුදාවරුන් ද කෙරෙහි පිහිටුවන පිණිස ය”යි කීවේ ය.</verse>
				<verse number="11">ඊෂ්-බොෂෙත් අබ්නේර්ට බිය වූ බැවින් එක වචනයකින් වත් උත්තර දෙන්නට ඔහුට නො‍හැකි විය.</verse>
				<verse number="12">එකල අබ්නේර්, දාවිත් වෙත පණිවුඩකාරයන් යවා, “දේශය අයිති කවරෙකුට ද? මා සමඟ ඔබේ ගිවිසුම කරගන්න. එවිට සියලු ඉශ්රායෙල්වරුන් ඔබ වෙත හරවා ගන්න පිණිස මාගේ සහාය ඔබට දෙන්නෙමි”යි කීවේ ය.</verse>
				<verse number="13">දාවිත් පිළිතුරු දෙමින්, “යහපත, මම ඔබ සමඟ ගිවිසුමක් කරන්නෙමි. හැබැයි, ඔබ එක දෙයක් කළ යුතු ය; එනම්, ඔබ මා බලන්නට එන විට පළමු කොට සාවුල්ගේ දුව වන මීකල් කැඳවාගෙන ආ යුතු ය; එසේ නො‍කළො‍ත්, මාගේ මුහුණ නො‍දකින්නෙහි ය”යි කී ය.</verse>
				<verse number="14">එවිට දාවිත් සාවුල්ගේ පුත්‍ර ඊෂ්-බොෂෙත් වෙත පණිවුඩකාරයන් යවා, “පිලිස්තිවරුන් සියදෙනෙකුගේ චර්මාග්‍ර දී මා ලබාගත් මාගේ බිරිඳ වන මීකල් මට දෙන්නැ”යි කියන්නට කීවේ ය.</verse>
				<verse number="15">ඊෂ්-බොෂෙත් මිනිසුන් යවා, ඇගේ පුරුෂයා වන, ලායිෂ්ගේ පුත් පල්තියෙල් වෙතින් ඈ ගෙන්වා ගත්තේ ය.</verse>
				<verse number="16">ඇගේ පුරුෂයා බහුරීම් නගරය දක්වා ඈ පස්සේ අඬ අඬා ගියේ ය. එවිට “හැරී යන්නැ”යි අබ්නේර් ඔහුට කී ය. ඔහු හැරී ගියේ ය.</verse>
				<verse number="17">අබ්නේර් ඉශ්රායෙල් ප්‍රජා මූලිකයන් සමඟ කතා කොට, “දාවිත් ඔබ හැමගේ රජු වන පිණිස ඔබ පසු ගිය කාලයෙහි දී ඔහු සෙව්වහු ය.</verse>
				<verse number="18">දැන් එසේ කරන්න. මන්ද, ‘මාගේ සෙනඟ වන ඉශ්රායෙල්, පිලිස්තිවරුන්ගේ අතින් ද ඔවුන්ගේ සියලු සතුරන්ගේ අතින් ද මාගේ මෙහෙකරු වන දාවිත් ලවා මම ගළවාගනිමි’යි සමිඳාණන් වහන්සේ දාවිත් ගැන වදාරා තිබේ ය”යි පැවසී ය.</verse>
				<verse number="19">අබ්නේර් බෙන්ජමින්වරුන් සමඟ කතා කෙළේ ය. ඉන්පසු අබ්නේර් ඉශ්රායෙල්වරුන් ද මුළු බෙන්ජමින් වංශය ද කළ යුතු යයි සම්මත කරගත් සියල්ල හෙබ්‍රොන්හි සිටි දාවිත්ට කියන පිණිස ගියේ ය.</verse>
				<verse number="20">මෙසේ අබ්නේර් ද ඔහු සමඟ මිනිස්සු විසිදෙනෙක් ද හෙබ්‍රොන්හි සිටි දාවිත් ළඟට පැමිණියෝ ය. දාවිත් අබ්නේර්ටත්, ඔහු සමඟ සිටි මිනිසුන්ටත් භෝජන සංග්‍රහයක් පිළියෙළ කෙළේ ය.</verse>
				<verse number="21">අබ්නේර් දාවිත්ට කතා කොට, “මම පිටත් ව ගොස්, සියලු ඉශ්රායෙල්වරුන් මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් සමඟ ගිවිසුමක් කරන පිණිස ඔවුන් ඔබ වෙත රැස් කරගෙන එන්නෙමි; මෙසේ ඔබේ සිත් ගන්න සියල්ලන් කෙරෙහි ඔබ රජකම් කරනු ඇතැ”යි කීවේ ය. දාවිත් අබ්නේර්ට යන්නට අවසර දුන් විට ඔහු සාමදානයෙන් ගියේ ය.</verse>
				<verse number="22">ඒ අවස්ථාවේ දී ම දාවිත්ගේ සේවකයෝ ද ජෝවාබ් ද කොල්ලකෑම පිණිස ගොස් බොහෝ වස්තුව ලබාගෙන පෙරළා ආහ. ඒ වේලාවේ අබ්නේර් හෙබ්‍රොන්හි දාවිත් සමඟ නො‍සිටියේ ය. මන්ද, දාවිත් ඔහුට යන්නට අවසර දුන් බැවින් ඔහු සාමදානයෙන් ගොස් තිබිණි.</verse>
				<verse number="23">එහෙත්, ජෝවාබ් සහ ඔහු සමඟ සිටි මුළු සේනාව පැමිණි විට, “නේර්ගේ පුත් අබ්නේර් රජු ළඟට ආවේ ය; රජු ඔහුට අවසර දුන්නේ ය; ඔහු සාමදානයෙන් ගියේ ය”යි කී හ.</verse>
				<verse number="24">එවිට ජෝවාබ් රජතුමා ළඟට අවුත්, “ඔබ කෙළේ කුමක් ද? අබ්නේර් ඔබ ළඟට ආවේ ය; දැන් ඔහු පිට වී ගොස් ඇත; ඔබ එසේ ඔහුට යන්නට අවසර දුන්නේ මන් ද?</verse>
				<verse number="25">නේර්ගේ පුත් අබ්නේර් ඔබ රවටා, ඔබේ යාම් ඊම් ද ඔබ කරන සියල්ල ද දැනගන්න පිණිස ආවේ ය; ඔබ එය දන්නෙහි දැ”යි ඇසී ය.</verse>
				<verse number="26">ජෝවාබ් දාවිත් වෙතින් පිටතට අවුත් අබ්නේර් පසුපස පණිවුඩකාරයන් යැවී ය; ඔව්හු සිරාගේ ළිඳ ළඟ සිට අබ්නේර් නැවත කැඳවාගෙන ආහ. එහෙත්, දාවිත් එය නො‍දත්තේ ය.</verse>
				<verse number="27">අබ්නේර් හෙබ්‍රොන් නගරයට පෙරළා ආ කල, ජෝවාබ් ඔහු සමඟ රහසින් කතා කරන පිණිස දොරටුවේ පැත්තකට ඔහු කැඳවාගෙන ගොස් ඔහුගේ බඩට ඇන්නේ ය. අබ්නේර් මැරුණේ ය. එසේ කෙළේ, අබ්නේර් ජෝවාබ්ගේ සහෝදරයා වූ අසාහෙල් මැරූ නිසා ය.</verse>
				<verse number="28">ඉන්පසු දාවිත් ඒ ගැන අසා, “මමත්, මාගේ රාජ්‍යයත් නේර්ගේ පුත් අබ්නේර්ගේ ලේ වැගිරීම ගැන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දී සදහට ම නිදොස් ය.</verse>
				<verse number="29">ඒ වරද ජෝවාබ්ටත්, ඔහුගේ පියාගේ මුළු වංශයටත් පඩිසන් දේ වා! ජෝවාබ්ගේ වංශයෙහි ප්‍රමේහ රෝගයක් ඇති කෙනෙකු හෝ කුෂ්ඨ රෝගියෙකු හෝ හැරමිටි වාරුවෙන් යන කෙනෙකු හෝ කඩුවෙන් වැටෙන කෙනෙකු හෝ කෑම හිඟ වූ කෙනෙකු හෝ නො‍සිටින කාලයක් කිසි කලෙක නො‍වේ වා!”යි කීවේ ය.</verse>
				<verse number="30">අබ්නේර් ගිබියොන්හි සටනේ දී, ජෝවාබ්ගේ සහ අබිෂයිගේ සහෝදර අසාහෙල් මැරූ නිසා, මෙසේ ඔව්හු අබ්නේර් මරාදැමූහ.</verse>
				<verse number="31">දාවිත් ජෝවාබ්ටත්, ඔහු සමඟ සිටි මුළු සෙනඟටත් කතා කොට, “දුකින් ඔබේ ඇඳුම් ඉරාගෙන, ගෝණි රෙදි හැඳ, අබ්නේර්ගේ මෘත දේහයට පෙරටුවෙන් වැලපෙමින් යන්නැ”යි කී ය. දාවිත් රජ ද මිනී දෙණ පස්සේ ගියේ ය.</verse>
				<verse number="32">ඔව්හු අබ්නේර් හෙබ්‍රොන්හි තැන්පත් කළහ. රජ ශබ්ද නඟා අබ්නේර්ගේ සොහොන් පොළේ දී හැඬී ය. මුළු සෙනඟත් හැඬූ හ.</verse>
				<verse number="33">රජ අබ්නේර් ගැන විලාප ගීයක් ගයමින් මෙසේ කීවේ ය: “කාලකණ්ණියෙකු මැරෙන සේ අබ්නේර් මිය යා යුතු ද? ඔබේ අත් නො‍බඳින ලද්දේ ය;</verse>
				<verse number="34">ඔබේ පාදවල විලංගු නො‍දමන ලද්දේ ය. දුෂ්ටයන් අතින් මිනිසෙකු මැරුම් කන සේ ඔබ මැරුම් කෑවෙහි ය.” මුළු සෙනඟ යළිත් ඔහු ගැන හඬා වැලපුණෝ ය.</verse>
				<verse number="35">එය දවල් කාලය වූ බැවින් දාවිත්ට කෑම කන්නට පෙරැත්ත කරන පිණිස මුළු සෙනඟ ආහ. එහෙත් දාවිත්, “මා රොටි වත්, වෙන කිසි දෙයක් වත් ඉර බැස යන තෙක් කටට ගත්තොත්, දෙවියන් වහන්සේ මට දරුණු ලෙස දඬුවම් කරන සේක් වා!”යි කියමින් දිවුළේ ය.</verse>
				<verse number="36">මුළු සෙනඟ ඒ බව දැනගෙන එය අනුමත කළහ; එසේ ම රජ්ජුරුවන් කළ සියල්ල ගැන සතුටු වූ හ.</verse>
				<verse number="37">මෙසේ නේර්ගේ පුත් අබ්නේර් මැරීම රජ්ජුරුවන්ගේ කැමැත්ත නො‍වූ බව මුළු සෙනඟ ද සියලු ඉශ්රායෙල්වරු ද ඒ දවසේ දැනගත්හ.</verse>
				<verse number="38">රජතුමා තමන්ගේ නිලධාරීන්ට කතා කොට, අද දවසේ ඉශ්රායෙල්හි අධිපතියෙකු ද උත්තමයෙකු ද මියගිය බව ඔබ හැම දන්නේ නැද් ද?</verse>
				<verse number="39">මා රජු වශයෙන් අභිෂේක ලැබූ නමුත්, අද මම දුර්වල ව සිටිමි; ශෙරුයාගේ පුත්‍රයන් වන මේ මනුෂ්‍යයෝ මට වඩා බලවත් ය; නපුර කරන්නාට ඔහුගේ නපුරුකම ලෙස සමිඳාණන් වහන්සේ විපාක දෙන සේක් වා”යි කීවේ ය.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">අබ්නේර් හෙබ්‍රොන්හි දී මැරුණු බව සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත්ට සැළ වූ විට ඔහු අධෛර්යයට පත් විය; සියලු ඉශ්රායෙල් ජනයා ද කැළඹුණහ.</verse>
				<verse number="2">සාවුල්ගේ පුත්‍රයාට කඩා වදින යුද කණ්ඩායම් භාර අධිපතියන් දෙදෙනෙක් සිටියහ; එක් කෙනෙකුගේ නම බානා ය; අනික් අයගේ නම රේකාබ් ය. මොවුහු බෙන්ජමින් ගෝත්‍රයට අයිති බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයෝ ය. මන්ද, බෙයේරොත් ද බෙන්ජමින් වංශයට ඇතුළත් කර තිබිණි.</verse>
				<verse number="3">බෙයේරොතිවරු ගිත්තායිම් නගරයට පලා ගොස් අද දක්වා එහි විදේශිකයන් වී සිටිති.</verse>
				<verse number="4">සාවුල්ගේ පුත් ජොනතන්ට දෙපා කොර වූ පුත්‍රයෙක් සිටියේ ය. ජෙශ්‍රෙයෙල්හි සිටි සාවුල් හා ජොනතන් ගැන ආරංචි ලැබුණු කල ඔහු පස් හැවිරිදි ළමයෙකු ව සිටියේ ය. ඔහුගේ කිරි මව ඔහු වඩාගෙන පලා ගියා ය. ඈ කඩිනම් කර පලා යන අතර ඔහු වැටී කොර වුණේ ය. ඔහුගේ නම මෙපිබොෂෙත් ය.</verse>
				<verse number="5">තවද, බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයන් වූ රේකාබ් ද බානා ද ගොස් දවල් ග්‍රීෂ්ම වේලාව පමණේ දී ඊෂ්-බොෂෙත්ගේ ගෙට ඇතුළු වූ හ. ඉර මුදුන් වේලාව නිසා ඔහු සැතපී සිටියේ ය.</verse>
				<verse number="6">ඒ අවස්ථාවේ දී තිරිඟු පොළමින් සිටි දොරටුපාලී නිදිබර වී නිදා වැටුණා ය. එවිට රේකාබ් ද ඔහුගේ සහෝදර වූ බානා ද ඇතුළට පිවිසියහ.</verse>
				<verse number="7">ඔව්හු ගෙට ඇතුළු වී ඊෂ්-බොෂෙත් ඔහුගේ නිදන කාමරයේ යහනේ නිදා සිටිය දී ඔහුට පහර දී ඔහු මරා, ඔහුගේ හිස කපා දමා, එය රැගෙන මුළු රැයේ ම අරබා සමභූමිය පාරෙන් ගියාහ.</verse>
				<verse number="8">ඔව්හු හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙත ඊෂ්-බොෂෙත්ගේ හිස ගෙනවුත්, රජුට කතා කොට, “ඔබ මරන්නට සෙවූ, ඔබට සතුරු වූ, සාවුල්ගේ පුත්‍රයා වන ඊෂ්-බොෂෙත්ගේ හිස මෙන්න; මෙසේ සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් උදෙසා අද සාවුල්ගෙන් ද ඔහුගේ වංශයෙන් ද පළිගත් සේකැ”යි කී හ.</verse>
				<verse number="9">දාවිත් ද බෙයේරොත්හි රිම්මොන්ගේ පුත්‍රයන් වන රේකාබ්ටත්, ඔහුගේ සහෝදර බානාටත් පිළිතුරු දෙමින්, “සියලු විපත්තිවලින් මාගේ ප්‍රාණය ගළවාගත් ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම දිවුරා මෙසේ කියමි:</verse>
				<verse number="10">යහපත් ආරංචියක් ගෙනෙමි යි සිතාගෙන එක් කෙනෙක්, ‘සාවුල් මැරුණේ ය’යි මට දැන්වූ විට මම ඔහු අල්ලා ශික්ලග්හි දී මරා දැමුවෙමි. ඔහු ගෙනා ආරංචියට මා විසින් දෙන ලද ප්‍රතිවිපාකය එය වේ.</verse>
				<verse number="11">තමාගේ ගෙයි, තමාගේ යහනේ සිටිය දී, දැහැමි මිනිසෙකු මරාදැමූ දුෂ්ට මිනිසුන්ට ඊට කොපමණ වැඩියෙන් එසේ කරන්නට යුතු ද? එබැවින් ඔහුගේ ලේ වැගිරීමේ වරදට ඔබෙන් පළි ගෙන ඔබ දැන් මිහි පිටින් පහ කරදැමීම මට යුතු නො‍වේ දැ”යි ඇසුවේ ය.</verse>
				<verse number="12">දාවිත් තමාගේ තරුණයන්ට අණ දුන්නේ ය; ඔව්හු ඔවුන් මරා, ඔවුන්ගේ අත් පා කපාදමා හෙබ්‍රොන්හි පොකුණ ළඟ එල්ලා තැබූ හ. එහෙත්, ඔව්හු ඊෂ්-බොෂෙත්ගේ හිස රැගෙන හෙබ්‍රොන්හි තිබුණු අබ්නේර්ගේ සොහොනේ තැන්පත් කළහ.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">එකල සියලු ඉශ්රායෙල් ගෝත්‍රයෝ හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙත අවුත්, “අපි ඔබේ ම ලේ නෑයෝ වමු.</verse>
				<verse number="2">පසු ගිය කාලයේ දී, සාවුල් අපේ රජ ව සිටි කාලයෙහි ඉශ්රායෙල්වරුන් සටනට ගෙන ගියේත්, ඔවුන් ආපසු ගෙනාවේත් ඔබ ම ය. සමිඳාණන් වහන්සේ ඔබට කතා කොට, ‘නුඹ මාගේ ඉශ්රායෙල් සෙනඟ පාලනය කරමින්, ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වන්නෙහි ය’යි වදාළ සේකැ”යි කීවෝ ය.</verse>
				<verse number="3">මෙසේ ඉශ්රායෙල්හි සියලු ප්‍රජා මූලිකයෝ හෙබ්‍රොන්හි සිටි රජ්ජුරුවන් වෙත පැමිණියෝ ය. දාවිත් රජු හෙබ්‍රොන්හි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේ ය. ඔව්හු දාවිත් ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් අභිෂේක කළෝ ය.</verse>
				<verse number="4">දාවිත් රජකමට පත් වුණ විට ඔහුගේ වයස අවුරුදු තිහකි. ඔහු සතළිස් අවුරුද්දක් රජකම් කෙළේ ය.</verse>
				<verse number="5">ඔහු හෙබ්‍රොන්හි ජුදෙව්වරුන් කෙරෙහි රජකම් කෙළේ සත් අවුරුදු හය මාසයකි; ජෙරුසලමේ ඔහු සියලු ඉශ්රායෙල්වරුන් ද ජුදෙව්වරුන් ද කෙරෙහි රජකම් කෙළේ තිස්තුන් අවුරුද්දකි.</verse>
				<verse number="6">රජු ද ඔහුගේ සෙනඟ ද රටේ වැසියන් වූ ජෙබුසිවරුන්ට විරුද්ධ ව ජෙරුසලමට ගියෝ ය. ඔව්හු ද, “දාවිත්ට මෙහි ඇතුළු වන්නට බැරි ය”යි කියමින් දාවිත්ට කතා කොට, “ඔබ මෙහි ඇතුළු නොවන්නෙහි ය. අන්ධයන් හා කොරුන් ඔබ පහකරදමනු ඇතැ”යි කීවෝ ය.</verse>
				<verse number="7">එසේ වුව ද, දාවිත් සියොන් බලකොටුව අල්ලාගත්තේ ය; එය දාවිත්ගේ නුවර විය.</verse>
				<verse number="8">ඒ දවසේ දාවිත් කතා කොට, “ජෙබුසිවරුන්ට පහර දෙන සියල්ලෝ ම දිය අගල තුළින් ගොස් මා ද්වේෂ කරන මේ කොරුන්ටත්, අන්ධයන්ටත් පහර දෙත් වා”යි කී ය. ‘අන්ධයන් ද කොරුන් ද දේව මාලිගාවට ඇතුළු නො‍විය යුතු ය’ යන කීම ඇති වූයේ මේ නිසා ය.</verse>
				<verse number="9">දාවිත් බලකොටුවේ වාසය කෙළේ ය. එය දාවිත්ගේ නුවර යයි නම් කරන ලදී. දාවිත් මිල්ලෝ පටන් වටකරින් ද ඇතුළතින් ද නගර ගොඩනැඟුවේ ය.</verse>
				<verse number="10">කල් යත් යත් දාවිත් බලවත් විය. එසේ වූයේ, සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිටි බැවිනි.</verse>
				<verse number="11">තවද, තීර්හි රජ වූ හීරාම් තෙමේ පණිවුඩකාරයන් ද කිහිරි ලී ද වඩුවන් ද ගල් වඩුවන් ද දාවිත් වෙත එව්වේ ය. ඔව්හු දාවිත්ට මාලිගාවක් ගොඩනැඟුවෝ ය.</verse>
				<verse number="12">තමා ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් සමිඳාණන් වහන්සේ විසින් පත් කරනු ලැබූ බවත්, උන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල් උදෙසා තමාගේ රාජ්‍යය උසස් කරනු ලැබූ බවත් දාවිත් දැනගත්තේ ය.</verse>
				<verse number="13">දාවිත් හෙබ්‍රොන්හි සිට පැමිණි පසු තවත් උපභාර්යාවන් ද භාර්යාවන් ද ජෙරුසලමෙන් පාවාගත්තේ ය. තව පුත්‍රයෝ ද දූවරු ද දාවිත්ට දාව උපන්නෝ ය.</verse>
				<verse number="14">ජෙරුසලමෙහි දී දාවිත්ට උපන් අයගේ නම් මේ ය: ෂම්මුවා, ෂෝබාබ්, නාතාන්, සලමොන්;</verse>
				<verse number="15">ඉබ්හාර්, එලිෂුවා, නෙපෙග්, ජපියා;</verse>
				<verse number="16">එලිෂාමා, එලියාදා සහ එලිපෙලෙත් ය.</verse>
				<verse number="17">දාවිත් ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් අභිෂේක කරනු ලැබූ බව පිලිස්තිවරුන් ඇසූ කල ඔව්හු සියල්ලෝ ම දාවිත් සොයා ආවෝ ය. දාවිත් ඒ අසා බලකොටුවට බැස ගියේ ය.</verse>
				<verse number="18">පිලිස්තිවරු අවුත් රෙපාවරුන්ගේ මිටියාවතේ පැතිර සිටියෝ ය.</verse>
				<verse number="19">දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විචාරමින්, “මා පිලිස්තිවරුන්ට විරුද්ධ ව යන්න ද? ඔබ වහන්සේ ඔවුන් මාගේ අතට පාවා දෙන සේක් දැ”යි ඇසුවේ ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “යන්න, මම සැබැවින් පිලිස්තිවරුන් නුඹ අතට පාවා දෙමි”යි දාවිත්ට වදාළ සේක.</verse>
				<verse number="20">දාවිත් බාල්-පෙරාශීම් නගරයට අවුත්, එහි දී ඔවුන්ට පහර දී, “ගඟක් ඉවුරු තළා යන්නා සේ සමිඳාණන් වහන්සේ මා ඉදිරියේ මාගේ සතුරන් බිඳ දැමූ සේකැ”යි කීවේ ය. එබැවින් ඔහු ඒ ස්ථානයට භංගස්ථානය යන අරුත ඇති බාල්-පෙරාශීම් යන නම තැබී ය.</verse>
				<verse number="21">ඔව්හු තමන්ගේ දේව රූප එහි දමා ගියෝ ය. දාවිත් ද ඔහුගේ සෙනඟ ද ඒවා රැගෙන ගියෝ ය.</verse>
				<verse number="22">පිලිස්තිවරු යළිත් පැමිණ රෙපාවරුන්ගේ මිටියාවතේ පැතිර සිටියෝ ය.</verse>
				<verse number="23">දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විචාළ කල්හි උන් වහන්සේ කතා කරමින්, “නුඹ ඉස්සරහට නො‍යන්න; වටකරින් ඔවුන්ට පිටුපසින් ගොස් ඇඹිල්ල ගස්වලට ඉදිරිපිටින් ඔවුන් ළඟට පැමිණෙන්න.</verse>
				<verse number="24">තවද, ඇඹිල්ල ගස් මුදුන්වල අඩි තබා යන ශබ්දයක් නුඹට ඇසෙන කල කඩිසර වන්න. මන්ද, ඒ වේලාවේ දී සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන්ගේ සේනාවට පහර දෙන පිණිස නුඹට පෙරටුව යන සේකැ”යි වදාළ සේක.</verse>
				<verse number="25">දාවිත් සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි කර, ගෙබාහි සිට ගෙශෙර්ට පැමිණෙන තෙක් පිලිස්තිවරුන්ට පහර දුන්නේ ය.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">ඉශ්රායෙල්වරුන්ගෙන් තෝරාගත් සියල්ලන් වන මිනිසුන් තිස්දහසක් දාවිත් නැවත රැස් කෙළේ ය.</verse>
				<verse number="2">දාවිත් නැඟිට තමා සමඟ සිටි මුළු සෙනඟ කැටුව යනුයේ, කෙරුබ්වරුන් පිට සිහසුන් අරා සිටින සියලු බලැති සමිඳාණන් වහන්සේගේ නාමය දරන දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනෙන පිණිස ජුදාහි බායාලේට ගියේ ය.</verse>
				<verse number="3">ඔව්හු හෙල මත පිහිටා තිබුණු අබිනාදාබ්ගේ ගෙයින් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අලුත් රථයක තබා ගෙනාවෝ ය. අබිනාදාබ්ගේ පුත්‍රයන් වන උශ්ශා ද අහියෝ ද අලුත් රථය දක්කාගෙන ගියෝ ය.</verse>
				<verse number="4">ඔව්හු හෙල මත තිබුණ අබිනාදාබ්ගේ ගෙයින් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන රථයේ තබාගෙන ගෙනාවෝ ය; ඒ ඉදිරියෙන් අහියෝ ගමන් කෙළේ ය.</verse>
				<verse number="5">දාවිත් සහ මුළු ඉශ්රායෙල් වංශය සියලු ආකාර තූර්ය භාණ්ඩවලින් ද කුඩා වීණාවලින් ද කයිතාලම්වලින් ද වීණාවලින් ද රබන්වලින් ද අත්තලවලින් ද නාද කරමින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මහ හඬින් ගයමින් නැටුවෝ ය.</verse>
				<verse number="6">ඔවුන් නාකොන්ගේ කමතට පැමිණි විට හරකුන් දැඟලූ බැවින්, උශ්ශා දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට අත දිගු කොට එය ඇල්ලුවේ ය.</verse>
				<verse number="7">එවිට සමිඳාණන් වහන්සේගේ උදහස උශ්ශාට විරුද්ධ ව ඇවිළිණි. දෙවියන් වහන්සේ ඒ වරද නිසා එහි දී ඔහුට පහර දුන් සේක. ඔහු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ළඟ මැරුණේ ය.</verse>
				<verse number="8">සමිඳාණන් වහන්සේ උශ්ශාට පහර දුන් බැවින්, දාවිත් ශෝකයට පත් වී ඒ ස්ථානයට උශ්ශා ප්‍රහාරය යන අරුත ඇති පෙරෙශ්-උශ්ශා යන නම තැබුවේ ය. ඒ නාමය අද දක්වා පවතී.</verse>
				<verse number="9">ඒ දවසේ දී දාවිත් සමිඳාණන් වහන්සේට භය ව, “සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මා ළඟට එන්නේ කෙසේ දැ”යි කීවේ ය.</verse>
				<verse number="10">එබැවින් දාවිත් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවරට ගෙනෙන්නට අකමැති ව, එය අහකට හරවා ගිත්තීය ඕබෙද්-ඒදොම්ගේ නිවෙසට ගෙන ගියේ ය.</verse>
				<verse number="11">සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගිත්තීය ඕබෙද්-ඒදොම්ගේ නිවෙසේ තුන් මාසයක් තිබුණේ ය. සමිඳාණන් වහන්සේ ඕබෙද්-ඒදොම්ටත්, ඔහුගේ මුළු පවුලටත් ආශීර්වාද කළ සේක.</verse>
				<verse number="12">දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව නිසා සමිඳාණන් වහන්සේ ඕබෙද්-ඒදොම්ටත්, ඔහුට අයිති සියල්ලටත් ආශීර්වාද කරන සේකැ යි දාවිත්ට දන්වන ලද්දේ ය. එවිට දාවිත් ගොස් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඕබෙද්-ඒදොම්ගේ නිවසෙන් දාවිත්ගේ නුවරට ප්‍රීති සහගත ව ගෙනාවේ ය.</verse>
				<verse number="13">තවද, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලන්නන් අඩි හයක් ගිය කල දාවිත් ගොනෙකු ද වස්සෙකු ද පූජා කෙළේ ය.</verse>
				<verse number="14">දාවිත් හණ ඒපොද් සැට්ටයක් හැඳගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේ ය.</verse>
				<verse number="15">මෙසේ දාවිත් සහ මුළු ඉශ්රායෙල් වංශය ඔල්වර ශබ්දයත්, හොරණෑ ශබ්දයත් ඇති ව සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනාහ.</verse>
				<verse number="16">සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවරට පැමිණි කල සාවුල්ගේ දුව වන මීකල් කවුළුවෙන් බලා, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දාවිත් රජ උඩ පනිමින් නටනු දැක ඇගේ සිතින් ඔහු හෙළා දැක්කා ය.</verse>
				<verse number="17">ඔව්හු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඇතුළට ගෙනවුත්, දාවිත් ඊට පිහිටුවා තිබුණු කූඩාරම මධ්‍යයෙහි ඊට නියම ස්ථානයෙහි, එය තැබූ හ. දාවිත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දවන යාග පූජා සහ සහභාගිකමේ පූජා ඔප්පු කෙළේ ය.</verse>
				<verse number="18">දාවිත් දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කර නිම කළ පසු සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේගේ නාමයෙන් සෙනඟට ආශීර්වාද කෙළේ ය.</verse>
				<verse number="19">තවද, ඔහු මුළු සෙනඟට එනම්, ඉශ්රායෙල් සමූහයාගෙන් එක එක පුරුෂයාට හා ස්ත්‍රියට රොටියකුත්, මස් කැබැල්ලකුත්, වියළි මුද්‍රික කැටියකුත් දුන්නේ ය. එවිට මුළු සෙනඟ තම තමන්ගේ නිවෙස්වලට යන්නට ගියහ.</verse>
				<verse number="20">දාවිත් ද තමන්ගේ ගෙවැසියන්ට ආශීර්වාද කරන පිණිස හැරී ගියේ ය. සාවුල්ගේ දුව වන මීකල් දාවිත්ගේ පෙරමඟට අවුත් කතා කොට, “කමකට නැති කෙනෙකු විලි ලජ්ජා නැති ව තමාගේ ඇඳුම් ගලවා දමන්නා සේ අද සිය මෙහෙකරුවන්ගේ දාසීන් ඉදිරියෙහි තමාගේ ඇඳුම් ගලවා දැමූ ඉශ්රායෙල් රජතුමා අද තේජවන්ත වී සිටින හැටි පුදුම ය”යි කීවා ය.</verse>
				<verse number="21">දාවිත් මීකල්ට කතා කොට, “එසේ කරන ලද්දේ, සිය සෙනඟ වන ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා කොට පත් කරන පිණිස ඔබේ පියාත්, ඔහුගේ මුළු වංශයත් පහ කොට මා තෝරාගත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ය. ඒ නිසා මම සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නටන්නෙමි.</verse>
				<verse number="22">මම ඊටත් වඩා නීච ව මාගේ ම ඇස් හමුයෙහි පහත් වන්නෙමි, එහෙත්, ඔබ කී දාසීන්ගෙන් නම් ගෞරව ලබන්නෙමි”යි කීවේ ය.</verse>
				<verse number="23">එබැවින් සාවුල්ගේ දුව වන මීකල්ට මැරෙන තුරු දරුවෙක් නො‍ලැබුණේ ය.</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">දාවිත් රජුගේ සියලු සතුරන්ගෙන් සමිඳාණන් වහන්සේ ඔහුට හැම අතින් ම නිදහස දුන් පසු, ඔහු සිය නිවෙසෙහි වාසය කෙළේ ය.</verse>
				<verse number="2">එසේ සිටින අතර රජතුමා නාතාන් නම් දිවැසිවරයාට කතා කොට, “මෙන්න, මම දැන් කිහිරි ගෙයක වසමි; එහෙත්, දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කූඩාරමක් ඇතුළේ තිබේ ය”යි කීවේ ය.</verse>
				<verse number="3">එවිට නාතාන් පිළිතුරු දෙමින්, “ඔබ ගොස් ඔබේ සිතේ තිබෙන සියල්ල කරන්න; මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේකැ”යි රජුට කීවේ ය.</verse>
				<verse number="4">තවද, එම රාත්‍රියේ සමිඳාණන් වහන්සේගේ පණිවුඩය නාතාන් වෙත පැමිණියේ ය.</verse>
				<verse number="5">උන් වහන්සේ මෙසේ වදාළ සේක: “නුඹ ගොස්, සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ යි මගේ මෙහෙකරු වන දාවිත්ට කියන්න:</verse>
				<verse number="6">‘මාගේ වාසස්ථානය සඳහා මට මාලිගාවක් ගොඩනඟන්නට යන්නේ නුඹ ද? මම ඉශ්රායෙල් සෙනඟ මිසරයෙන් ගෙනා දවසේ පටන් අද දක්වා ගෘහයක වාසය නො‍කොට කූඩාරමක ද මණ්ඩපයක ද වාසය කෙළෙමි.</verse>
				<verse number="7">මාගේ සෙනඟ වන ඉශ්රායෙල් පාලනය කරන පිණිස මා අණ දුන් වීර පුරුෂයන්ගෙන්, ‘නුඹලා මට කිහිරි ලීවලින් ගෘහයක් ගොඩනොනැඟුවේ මන්දැ’යි සියලු ඉශ්රායෙල් සෙනඟ හැසුරුණ කිනම් ස්ථානයක දී ඇසුවෙම් ද?</verse>
				<verse number="8">“එබැවින්, මාගේ මෙහෙකරු දාවිත්ට මෙසේ කියන්නැ යි සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ සෙනඟ වන ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වන පිණිස තණ බිමෙන් ද බැටළුවන් පස්සේ යාමෙන් ද මම නුඹ කැඳවාගතිමි.</verse>
				<verse number="9">නුඹ ගිය හැමතැන්හි ම මම නුඹ සමඟ සිට, නුඹේ සතුරන් නුඹ ඉදිරියෙන් සිඳදැමුවෙමි. මිහි පිට සිටින උත්තමයන්ගේ නාමය මෙන් උසස් නාමයක් නුඹට සලසා දෙන්නෙමි.</verse>
				<verse number="10">මාගේ සෙනඟ වන ඉශ්රායෙල් ඔවුන්ට ම හිමි ස්ථානයෙහි වාසය කරමින්, තවත් බැහැර කරනු නො‍ලබන ලෙස මම ඔවුන්ට ස්ථානයක් නියම කොට ඔවුන් ස්ථිර කොට පිහිටුවන්නෙමි. දුෂ්ටයෝ පෙර කළා සේ තවත් ඔවුන්ට හිරිහැර නො‍කරන්නාහ.</verse>
				<verse number="11">එසේ කරන්නේ, මා ඉශ්රායෙල් කෙරෙහි වීර පුරුෂයන් පත් කළ කාලයේ දී මෙන් ය. නුඹේ සියලු සතුරන්ගෙන් නිදහස ලැබෙන්නට සලස්වන්නෙමි. ඇරත්, සමිඳාණන් වහන්සේ නුඹට වංශයක් උපදවා දෙන බව සමිඳාණන් වහන්සේ ම නුඹට දන්වන සේක.</verse>
				<verse number="12">නුඹේ ආයු කාලය සම්පූර්ණ වී නුඹේ පියවරුන් සමඟ සැතපුණ කල්හි, මම නුඹෙන් පැවත එන නුඹේ ම දරුවෙකු නුඹට පසු ව රජකමට නංවා ඔහුගේ රාජ්‍යයෙහි ඔහු ස්ථිර කරන්නෙමි.</verse>
				<verse number="13">ඔහු ම මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නේ ය. ඔහුගේ රාජ්‍යයේ සිංහාසනය ද සදහට ම ස්ථිර කරන්නෙමි.</verse>
				<verse number="14">මම ඔහුට පියෙක් වන්නෙමි; ඔහු මට පුත්‍රයෙක් වන්නේ ය. ඔහු අයුතුකම් කළො‍ත් මම පියෙකු මෙන් ඔහුට ඉපලෙන් දඬුවම් කරන්නෙමි; මිනිසුන් පහර දෙන සේ ඔහුට පහර දෙන්නෙමි.</verse>
				<verse number="15">එහෙත්, නුඹේ මාර්ගයෙන් මා විසින් අහක් කරන ලද සාවුල්ගෙන් මාගේ ස්ථිර ප්‍රේමය පහ කළ ලෙස ඒ රජුගෙන් එය පහ නො‍කරන්නෙමි.</verse>
				<verse number="16">නුඹේ වංශය ද රාජශ්‍රීය ද මා ඉදිරියෙහි සදහට ම ස්ථිර කරනු ලබන්නේ ය. නුඹේ සිංහාසනය සදහට ම පිහිටුවනු ලබන්නේ ය.”</verse>
				<verse number="17">මේ සියලු වචනවල හැටියටත්, මේ මුළු දර්ශනයේ හැටියටත් නාතාන් දාවිත්ට දැන්විය.</verse>
				<verse number="18">එවිට දාවිත් රජ ඇතුළට ගොස් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හිඳගෙන, මෙසේ යැදී ය: “දෙවි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ මෙපමණ දුර මා ගෙන ඊමට තරම් මම කවරෙක් ද? මාගේ වංශය කුමක් ද?</verse>
				<verse number="19">එහෙත්, දෙවි ස්වාමීන් වහන්ස, මේ දේ වුව ද, ඔබ ඇස් හමුයෙහි සුළු දෙයකි. මතු බොහෝ කලකට පවතින ඔබේ මෙහෙකරුවාගේ වංශය ගැනත් ඔබ වහන්සේ කතා කළ සේක. දෙවි ස්වාමීන් වහන්ස, මතු පරම්පරා ද මට පෙන්වා ඇත.</verse>
				<verse number="20">දාවිත් ඔබ වහන්සේට තවත් කුමක් කියන්න ද? දෙවි ස්වාමීන් වහන්ස, ඔබ නම් ඔබේ මෙහෙකරුවා දන්නා සේක.</verse>
				<verse number="21">ඔබ මේ සියලු උසස් දේ කොට ඔබේ මෙහෙකරුවාට එය දැන්වූයේ ඔබේ පොරොන්දුව නිසා ය. ඔබේ සිතට එකඟ ලෙස ය.</verse>
				<verse number="22">එබැවින් දෙවි ස්වාමීන් වහන්ස, ඔබ උතුම් ව සිටින සේක. ඔබ වහන්සේට සමාන කෙනෙකු ගැන අප කන්වලින් කවදාවත් අසා නැත; ඔබ හැර වෙන කිසි දෙවි කෙනෙක් ද නැත.</verse>
				<verse number="23">මිහි පිට කුමන ජාතියක් ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්ට සමාන ද? දෙවි ස්වාමීන් වහන්ස, තමන් සෙනඟ වන පිණිස දෙවියන් වහන්සේ විසින් වහල්කමින් මුදාගන්න ලද තවත් ජාතියක් ඇද් ද? ඔබ වහන්සේ කීර්තිය දිනාගන්න පිණිස උදාර වූ, භයානක වූ දේ කර දුන් තවත් ජාතියක් ඇද් ද? අන්‍ය ජාතීන් ද පන්නා දමා, ඔවුන්ගේ දෙවිවරුන් ද පන්නා දමා, මිසර දේශයෙන් තමන් වහන්සේ උදෙසා මුදාගත් ජාතියට සමාන අන් ජාතියක් ඇද් ද?</verse>
				<verse number="24">මෙසේ ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්, සදහට ම ඔබට සෙනඟක් වශයෙන් ස්ථිර කරගෙන, සමිඳුනි ඔබ ම ඔවුන්ගේ දෙවියන් වහන්සේ ව සිටින සේක.</verse>
				<verse number="25">“ඉතින් දෙවි ස්වාමීන් වහන්ස, ඔබේ මෙහෙකරුවා හා ඔහුගේ වංශය ගැනත් ඔබ වදාළ වචන සදහට ම ස්ථිර කොට, ඔබ වදාළ ලෙස කළ මැනව.</verse>
				<verse number="26">‘ඉශ්රායෙල් කෙරෙහි දෙවියන් වහන්සේ ව සිටින්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ ය’යි කියනු ලැබීමෙන් ඔබේ නාමය සදහට පසසනු ලැබේ වා! ඔබේ මෙහෙකරු වන දාවිත්ගේ වංශය ද ඔබ ඉදිරියෙහි ස්ථිර ව තිබේ.</verse>
				<verse number="27">මන්ද, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි වන සියලු බලැති සමිඳාණන් වහන්ස, ඔබ කතා කොට, ‘මම නුඹට වංශයක් සාදා දෙන්නෙමි’යි ඔබේ මෙහෙකරුවාට එළිදරව් කළ සේක. එබැවින් මේ යාච්ඤාව ඔබට ඔප්පු කරන්නට ඔබේ මෙහෙකරුවා ධෛර්ය ගත්තේ ය.</verse>
				<verse number="28">“ඉතින් දෙවි ස්වාමීන් වහන්ස, ඔබ ම දෙවියන් වහන්සේ ය, ඔබේ වචනය සැබෑ ම ය, ඔබ ද ඔබේ මෙහෙකරුවාට මේ යහපත් දේ පොරොන්දු වූ සේක.</verse>
				<verse number="29">එබැවින් ඔබේ මෙහෙකරුවාගේ වංශය ඔබ ඉදිරියෙහි සදහට ම පවතින පිණිස ඊට ආශීර්වාද කරන්නට ඔබ කැමැති වන සේක් වා! මන්ද, දෙවි ස්වාමීන් වහන්ස, ඔබ එසේ වදාළ සේක. ඔබේ ආශීර්වාදය මඟින් ඔබේ මෙහෙකරුවාගේ වංශය සදහට ම ආශීර්වාද කරනු ලැබේ වා!”</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">ඉන්පසු දාවිත් පිලිස්තිවරුන්ට පහර දී ඔවුන් යටත් කරගෙන, අගනුවර පාලනය පිලිස්තිවරුන් අතින් පැහැර ගත්තේ ය.</verse>
				<verse number="2">ඔහු මෝවබ්වරුන්ටත් පහර දී, ඔවුන්ට බිම දිගා වන්නට සලස්වා ලණුවකින් මැන්නේ ය. මරණයට පත් කිරීමට පේළි දෙකක් ද ඉතුරු කරන පිණිස එක සම්පූර්ණ පේළියක් ද මැන වෙන් කෙළේ ය. මෙසේ මෝවබ්වරු දාවිත්ට මෙහෙකරුවන් වී කප්පම් ගෙවූ හ.</verse>
				<verse number="3">තවද, රෙහෝබ්ගේ පුත්‍රයා ද ශෝබාහි රජු ද වන හදද්-එශෙර් යුප්‍රටීස් ගංගාව ළඟ තමාගේ බලය නැවත පිහිටුවන්නට යද්දී දාවිත් ඔහුටත් පහර දී,</verse>
				<verse number="4">අසරුවන් එක්දහස් හත්සියයක් ද පාබළ සෙනඟ විසිදහසක් ද ඔහුගෙන් අල්ලාගෙන, එයින් රථ සියයකට අසුන් ඉතිරි කරගෙන අනික් සියලු අශ්වයන්ගේ කුදිකපා අබලන් කෙළේ ය.</verse>
				<verse number="5">දමස්කයෙහි සිරියන්වරු ශෝබාහි රජ වූ හදද්-එශෙර්ට උපකාර කරන්නට ආහ. එවිට දාවිත් සිරියන්වරුන්ගෙන් මිනිසුන් විසිදෙදාහක් මැරුවේ ය.</verse>
				<verse number="6">සිරිය දමස්කයේ මුරකාර හමුදා තැබුවේ ය. සිරියන්වරු ද දාවිත්ට මෙහෙකරුවන් වී කප්පම් ගෙවූ හ. දාවිත් ගිය ගිය තැන සමිඳාණන් වහන්සේ ඔහුට ජය අත් කර දුන් සේක.</verse>
				<verse number="7">දාවිත් හදද්-එශෙර්ගේ සේවකයන්ට තිබුණු රන් පළිස් රැගෙන ජෙරුසලමට ගෙනාවේ ය.</verse>
				<verse number="8">බෙටා ද බෙරොතයි ද යන හදද්-එශෙර්ගේ නගරවලින් දාවිත් රජ ලෝකඩ බොහෝ සෙයින් ගත්තේ ය.</verse>
				<verse number="9">දාවිත්, හදද්-එශෙර්ගේ මුළු සේනාවට පහර දුන් බව හමාත්හි රජු වන තොයි ඇසූ විට, දාවිත් එසේ හදද්-එශෙර්ට විරුද්ධ ව සටන් කොට ඔහුට පහර දුන් නිසා දාවිත්ට ආචාර කරන්නටත්,</verse>
				<verse number="10">ඔහුට ආශීර්වාද කරන්නටත් ඔහු වෙත තමාගේ පුත් ජෝරාම් යැව්වේ ය. මන්ද, හදද්-එශෙර් හා තොයි අතරේ යුද්ධ පැවතුණේ ය. ජෝරාම් රන් බඩු ද රිදී බඩු ද ලෝකඩ බඩු ද ගෙනාවේ ය.</verse>
				<verse number="11">මේවා ද දාවිත් රජු යටත් කරගත් සියලු ජාතීන්ගෙන් ගත් රන් රිදී ද ඔහු සමිඳාණන් වහන්සේට කැප කෙළේ ය.</verse>
				<verse number="12">ඔහු ඒ රන් රිදී ගත්තේ, ඒදොම්වරුන්ගෙන් ද මෝවබ්වරුන්ගෙන් ද අම්මොන්වරුන්ගෙන් ද පිලිස්තිවරුන්ගෙන් ද අමලෙක්වරුන්ගෙන් ද රෙහෝබ්ගේ පුත් ශෝබාහි රජ වූ හදද්-එශෙර්ගෙන් ද ගත් කොල්ලයෙන් වේ.</verse>
				<verse number="13">දාවිත් ලුණු මිටියාවතෙහි ඒදොම්වරුන්ගෙන් දහඅට දාහකට පහර දී, හැරී ආ කල ඔහු කීර්තියට පත් විය.</verse>
				<verse number="14">ඔහු ඒදොම්හි හැම තැන ම මුරකාර හමුදා තැබුවේ ය. සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවෝ වූ හ. දාවිත් ගිය ගිය තැන්හි සමිඳාණන් වහන්සේ ඔහුට ජය අත් කර දුන් සේක.</verse>
				<verse number="15">දාවිත් මුළු ඉශ්රායෙල් කෙරෙහි රජකම් කරමින් තමාගේ මුළු සෙනඟට විනිශ්චය හා යුක්තිය ඉෂ්ට කෙළේ ය.</verse>
				<verse number="16">ශෙරුයාගේ පුත් ජෝවාබ් සේනාපතියා ව සිටියේ ය. අහිලුද්ගේ පුත් ජෙහෝෂාපාට් වාර්තාකරුවා ව සිටියේ ය.</verse>
				<verse number="17">අහිතුබ්ගේ පුත් ශාදොක් හා අබියාතර්ගේ පුත් අහිමෙලෙක් පූජකයන් ව සිටියහ. සෙරායා ලේකම් ව සිටියේ ය.</verse>
				<verse number="18">ජෙහෝයාදාගේ පුත් බෙනායා කෙරෙතිවරුන් ද පෙලෙතිවරුන් ද කෙරෙහි අධිපතියා ව සිටියේ ය. දාවිත්ගේ පුත්‍රයෝ පූජකවරුන් ව සිටියහ.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">දාවිත් කතා කොට, “සාවුල්ගේ වංශයෙන් යමෙක් තව ඉතුරු ව සිටී ද? සිටිනවා නම්, මම ජොනතන් නිසා ඔහුට කරුණාව පෙන්වන්නෙමි”යි කීවේ ය.</verse>
				<verse number="2">සාවුල්ගේ වංශයට අයිති ශීබා නම් මෙහෙකරුවෙක් විය. ඔවුන් ඔහු දාවිත් ළඟට කැඳවාගෙන ආ කල, “ඔබ ශීබා දැ”යි රජ ඇසී ය. ඔහු ද, “ඔබේ මෙහෙකරුවා වන මම ශීබා ය”යි කීවේ ය.</verse>
				<verse number="3">රජ ද, “සාවුල්ගේ වංශයෙන් තවත් කිසිවෙක් ඉතිරි ව ඇද් ද? ඉතිරි ව ඇත්නම්, මම ඔහුට දෙවියන් වහන්සේගේ කරුණාව පෙන්වන්නෙමි”යි කීවේ ය. ශීබා පිළිතුරු දෙමින්, “ජොනතන්ගේ පුත්‍රයෙක් තව ම සිටියි; ඔහු කොර වූ කෙනෙකැ”යි රජුට කී ය.</verse>
				<verse number="4">එවිට, “ඔහු කොතැන දැ”යි රජ ඔහුගෙන් ඇසී ය. ශීබා පිළිතුරු දෙමින්, “ඔහු ලෝ-දෙබාර්හි අම්මියෙල්ගේ පුත් මාකීර්ගේ ගෙදර සිටී ය”යි රජුට කී ය.</verse>
				<verse number="5">එවිට දාවිත් රජ පණිවුඩ යවා, ලෝ-දෙබාර්හි අම්මියෙල්ගේ පුත් මාකීර්ගේ ගෙදරින් ඔහු ගෙන්වූයේ ය.</verse>
				<verse number="6">සාවුල්ගේ පුත්‍රයා වන ජොනතන්ගේ පුත් මෙපිබොෂෙත් දාවිත් වෙත අවුත් මුණින්තළා වී වැන්දේ ය. දාවිත් ද, “මෙපිබොෂෙත්” කියා ඔහු ඇමතුවේ ය. “ඔබේ මෙහෙකරුවා මෙහි ය”යි ඔහු කී ය.</verse>
				<verse number="7">දාවිත් කතා කොට, “බය නොවන්න; සැබෑවට ම ඔබේ පියා වූ ජොනතන් නිසා මම ඔබට කරුණාව පෙන්වා, ඔබේ පියා වූ සාවුල්ගේ ගම් බිම් ඔබට නැවත දෙන්නෙමි. ඔබ නිතර ම මා සමඟ එකට වාඩි වී කෑම කන්නෙහි ය”යි ඔහුට කී ය.</verse>
				<verse number="8">ඔහු වැඳ කතා කොට, “මා වැනි බලු කුණකට සැලකීමට ඔබේ මෙහෙකරුවා කවරෙක් දැ”යි ඇසී ය.</verse>
				<verse number="9">එවිට රජු සාවුල්ගේ වැඩකාරයා වන ශීබාට හඬගසා, “සාවුල්ටත්, ඔහුගේ මුළු වංශයටත් අයිති ව තිබුණු සියල්ල ඔබේ ස්වාමියාගේ පුත්‍රයාට දෙන්නෙමි.</verse>
				<verse number="10">එබැවින් ඔබේ ස්වාමියාගේ පුත්‍රයාට කෑම කන්නට ලැබෙන පිණිස ඔබ සහ ඔබේ පුත්‍රයෝ ද ඔබේ වැඩකාරයෝ ද ඔහු උදෙසා බිම් වගා කොට එහි අස්වැන්න රැස් කරගන්න. එහෙත්, ඔබේ ස්වාමියාගේ පුත් මෙපිබොෂෙත් මාගේ මේසයේ කෑම කනු ඇතැ”යි කීවේ ය. ශීබාට පුත්‍රයෝ පසළො‍ස්දෙනෙක් හා වැඩකාරයෝ විසිදෙනෙක් සිටියහ.</verse>
				<verse number="11">එවිට ශීබා කතා කරමින්, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් තමන්ගේ වැඩකරුවාට අණ කරන සියල්ල ලෙස ඔබේ මෙහෙකරුවා කරන්නේ ය”යි රජුට කීවේ ය. මෙපිබොෂෙත් වනාහි රාජ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු මෙන් රජු සමඟ එකට වාඩි වී කෑම කෑවේ ය.</verse>
				<verse number="12">මෙපිබොෂෙත්ට මීකා නම් බාල පුත්‍රයෙක් සිටියේ ය. ශීබාගේ ගෙවැසි සියල්ලෝ මෙපිබොෂෙත්ගේ වැඩකාරයන් ව සිටියහ.</verse>
				<verse number="13">මෙලෙස මෙපිබොෂෙත් ජෙරුසලමේ විසී ය. මන්ද, ඔහු රජු සමඟ එකට වාඩි වී නිතර ම කෑම කෑවේ ය. ඔහුගේ දෙපය ම කොර වී තිබිණි.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">ඉන්පසු අම්මොන්වරුන්ගේ රජ මියගියේ ය. ඔහුගේ පුත් හානුන් ඔහු වෙනුවට රජ වුණේ ය.</verse>
				<verse number="2">දාවිත් කතා කරමින්, “හානුන්ගේ පිය වූ නාහෂ් මට කරුණාව පෙන්වූ ලෙස මම හානුන්ට කරුණාව පෙන්වන්නෙමි”යි ඔහුගේ පියාගේ මරණය ගැන ඔහු සනසන පිණිස තමාගේ සේවකයන් අත පණිවුඩයක් යැවී ය. දාවිත්ගේ මෙහෙකරුවෝ අම්මොන්වරුන්ගේ දේශයට පැමිණියහ.</verse>
				<verse number="3">එහෙත්, අම්මොන්වරුන්ගේ අධිපතීහු තමන්ගේ ස්වාමීන් වන හානුන්ට කතා කොට, “දාවිත් ඔබ වෙත සැනසිලිකාරයන් එවූ නිසා ඔහු ඔබේ පියාණන්ට ගෞරව කරන්නේ යයි ඔබ සිතන්නෙහි ද? දාවිත් තමාගේ සේවකයන් ඔබ වෙත එවා ඇත්තේ, නගර සෝදිසි කර ඔත්තු බලා එය විනාශ කරන අදහසින් නො‍වේ දැ”යි කී හ.</verse>
				<verse number="4">එබැවින් හානුන් දාවිත්ගේ සේවකයන් අල්ලා ඔවුන්ගේ රැවුලෙන් බාගයක් බූ ගා, තට්ටම් දක්වා ඔවුන්ගේ ඇඳුම් මැදින් කපා දමා ඔවුන් යන්නට හැරියේ ය.</verse>
				<verse number="5">ඒ බව දාවිත්ට දැන්වූ කල ඔහු ඔවුන් සම්බ වන පිණිස මිනිසුන් යැවී ය. මන්ද, ඒ මිනිස්සු බොහෝ සෙයින් ලජ්ජාවට පැමිණ සිටියහ. “ඔබේ රැවුල් වැඩෙන කල් ජෙරිකෝවේ නැවතී සිට පසුව හැරී එන්නැ”යි රජ කියා යැවී ය.</verse>
				<verse number="6">තවද, අම්මොන්වරු තමන් දාවිත් රජුට සතුරු වූ බව දැක, පණිවුඩකාරයන් යවා, බෙත්-රෙහොබ්හි සිරියන්වරුන්ගෙනුත්, ශෝබාහි සිරියන්වරුන්ගෙනුත් පාබළ සෙනඟ විසිදහසක් ද මිනිසුන් දහසක් සමඟ මයකාහි රජු ද ටෝබ්හි මිනිසුන් දොළො‍ස්දහසක් ද කුලියට ගත්හ.</verse>
				<verse number="7">දාවිත් ඒ අසා, ජෝවාබ් හා බලවන්තයන් වන මුළු සේනාව යැවී ය.</verse>
				<verse number="8">අම්මොන්වරු පිටතට අවුත්, දොරටුව ළඟ යුද්ධය සඳහා පෙළගැසී සිටියහ. ශෝබාහි ද රෙහොබ්හි ද සිරියන්වරුත්, ටෝබ්හි ද මයකාහි ද මිනිස්සුත් එළිමහනේ භූමියෙහි වෙන වෙන ම සිටගත්හ.</verse>
				<verse number="9">පෙරටුවෙන් ද පිටු පසින් ද සටන තමාට විරුද්ධ ව යොමු ව තිබෙන බව ජෝවාබ් දැක, සියලු බලවන්ත ඉශ්රායෙල්වරුන් අතරෙන් කොටසක් තෝරාගෙන සිරියන්වරුන්ට විරුද්ධ ව සිටුවා,</verse>
				<verse number="10">සෙසු සෙනඟ අම්මොන්වරුන්ට විරුද්ධ ව සිටුවන පිණිස ඔහු තමාගේ සහෝදර අබිෂයි අතට භාර දී,</verse>
				<verse number="11">ඔහුට කතා කොට, “සිරියන්වරුන් මට වඩා බලවන්ත වූවොත් ඔබ මට උපකාර කරන්න; අම්මොන්වරුන් ඔබට වඩා බලවන්ත වූවොත් මම අවුත් ඔබට උපකාර කරන්නෙමි.</verse>
				<verse number="12">අපේ සෙනඟ උදෙසාත්, අපේ දෙවියන් වහන්සේගේ නගර උදෙසාත් ධෛර්යවත් වී සිටින්න; ස්ථිර ව සිටින්න; සමිඳාණන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට වේවා”යි කී ය.</verse>
				<verse number="13">මෙසේ ජෝවාබ් ද ඔහු සමඟ සිටි සෙනඟ ද සිරියන්වරුන්ට විරුද්ධ ව සටනට ළං වූ හ. එවිට ඔව්හු ජෝවාබ් ඉදිරියෙන් පලා ගියහ.</verse>
				<verse number="14">සිරියන්වරුන් පලා ගිය බව අම්මොන්වරුන් දැක, ඔව්හු අබිෂයි ඉදිරියෙන් පලා ගොස් නගරයට ඇතුල් වූ හ. එවිට ජෝවාබ් අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කොට ජෙරුසලමට පෙරළා ආවේ ය.</verse>
				<verse number="15">සිරියන්වරු තමන් ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි පරාජය වූ බව දැක එක්රැස් වූ හ.</verse>
				<verse number="16">හදද්-එශෙර් ද යුප්‍රටීස් ගංගාවට එගොඩින් සිටි සිරියන්වරුන් ගෙන්වාගත්තේ ය. ඔව්හු ඔවුන්ට පෙරටු ව හදද්-එශෙර්ගේ සේනාපතියා වූ ෂෝබා සමඟ හේලාම් නගරයට පැමිණියහ.</verse>
				<verse number="17">එපවත් දාවිත් රජුට දැන්වූ කල ඔහු සියලු ඉශ්රායෙල්වරුන් රැස් කරගෙන, ජොර්දානින් එගොඩ වී හේලාම් නගරයට ගියේ ය.</verse>
				<verse number="18">සිරියන්වරුන් ද දාවිත් රජුට විරුද්ධ ව යුද්ධයට සැරසී ඔහු සමඟ සටන් කළ විට ඔව්හු ඉශ්රායෙල් ඉදිරියෙන් පලා ගියහ. දාවිත් සිරියන්වරුන්ගේ රියැදුරන් හත්සියයක් ද අසරුවන් සතළිස්දහසක් ද මරා, ඔවුන්ගේ සෙන්පති ෂෝබාටත් පහර දුන්නේ ය. ඔහු එතැන ම මළේ ය.</verse>
				<verse number="19">එවිට හදද්-එශෙර්ගේ සේවකයන් වන සියලු රජවරු තමන් ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි පරාජය වූ බව දැක, ඉශ්රායෙල්වරුන් සමඟ සාමදාන ගිවිසගෙන ඔවුන්ට සේවය කළහ. මෙසේ සිරියන්වරු අම්මොන්වරුන්ට තවත් උපකාර කරන්නට බිය වූ හ.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">ඒ අවුරුද්දේ වසන්ත සමයේ රජවරුන් යුද්ධයට යන කාලයේ දී, දාවිත් රජ, ජෝවාබ් ද ඔහු සමඟ තමාගේ සේවකයන් ද ඉශ්රායෙල් හමුදාව ද යුද බිමට යැවී ය. ඔව්හු අම්මොන්වරුන් ඝාතනය කොට රබ්බා නගරය වැටලූ හ. එහෙත්, දාවිත් ජෙරුසලමේ නැවතී සිටියේ ය.</verse>
				<verse number="2">දිනක් සවස් වේලේ දාවිත් තමාගේ යහනින් නැඟිට ගොස්, රජ මාලිගාවේ පියස්ස උඩ සක්මන් කෙළේ ය. එවිට ස්ත්‍රියක ස්නානය කරනු ඔහු පියස්සේ සිට දිටී ය. ඒ ස්ත්‍රිය ඉතා රූමත් වූවා ය.</verse>
				<verse number="3">දාවිත් පණිවුඩ යවා ස්ත්‍රිය ගැන විභාග කරවී ය. එක් කෙනෙක් කතා කොට, “ඈ එලියාම්ගේ දුව වන, හිත්තීය ජාතික උරියාගේ බිරිඳ වන බැත්-ෂෙබා නො‍වේ දැ”යි කී ය.</verse>
				<verse number="4">දාවිත් පණිවුඩකාරයන් යවා ඈ ගෙන්වාගත්තේ ය. ඈ ඔහු ළඟට ආවා ය. ඔහු ඈ සමඟ සේවනයෙහි යෙදිණි; ඒ අවස්ථාවේ දී ඈ තමාගේ අපවිත්‍රකමින් පිරිසිදු වූවා පමණකි. ඈ සිය ගෙදරට පෙරළා ගියා ය.</verse>
				<verse number="5">ඈ ගැබ්ගෙන, “මම ගැබ්ගෙන සිටිමි”යි දාවිත්ට දන්වා යැවුවා ය.</verse>
				<verse number="6">එවිට දාවිත්, “හිත්තීය උරියා මා ළඟට එවන්නැ”යි ජෝවාබ්ට කියා යැවී ය. ජෝවාබ්, දාවිත් ළඟට උරියා යැවී ය.</verse>
				<verse number="7">උරියා ඔහු ළඟට ආ කල දාවිත් ඔහුගෙන් ජෝවාබ්ගේ ද සෙනඟගේ ද සැප සනීප ගැනත්, යුද්ධය සිදු වේගෙන යන ආකාරයත් විචාළේ ය.</verse>
				<verse number="8">ඉන්පසු දාවිත්, “ඔබ ගෙදර ගොස් විවේකී ව සිටින්නැ”යි උරියාට කීවේ ය. උරියා රජ මාලිගාවෙන් පිටත් ව ගියේ ය. ඔහු ගිය පසු රජුගෙන් ත්‍යාගයක් ඔහු වෙත යවන ලදී.</verse>
				<verse number="9">එහෙත්, උරියා සිය ගෙදරට නො‍ගොස්, තමාගේ ස්වාමියාගේ මෙහෙකරුවන් සමඟ රජ මාලිගාවේ දොරකඩ නිදාගත්තේ ය.</verse>
				<verse number="10">“උරියා තමාගේ ගෙදරට නො‍ගියේ ය”යි දාවිත්ට දන්වනු ලැබූ කල, දාවිත් උරියාට කතා කොට, “ඔබ ගමනක් ගොස් ආවා නො‍වේ ද? ඔබ ගෙදර නො‍ගියේ මන්දැ”යි ඇසුවේ ය.</verse>
				<verse number="11">උරියා දාවිත්ට කතා කොට, “ගිවිසුම් කරඬුව කූඩාරමක ඇත; ඉශ්රායෙල්වරු ද ජුදෙව්වරු ද කූඩාරම්වල සිටිති; මාගේ ස්වාමීන් වන ජෝවාබ් ද මාගේ ස්වාමියාගේ සේවකයෝ ද එළිමහනේ කඳවුරු බැඳගෙන සිටිති. එසේ නම්, කා, බී ප්‍රීති වන්නටත්, මාගේ බිරිඳ සමඟ සයනය කරන්නටත් මා මාගේ ගෙදරට යන්නේ කෙසේ ද? මම සැබෑ ලෙස එවැන්නක් නො‍කරමි යි ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් ද ඔබේ නාමයෙන් ද දිවුරා කියමි”යි පැවසී ය.</verse>
				<verse number="12">එවිට දාවිත් පිළිතුරු දෙමින්, “අදත් මෙහි සිටින්න, හෙට ඔබ යන්නට හරින්නෙමි”යි උරියාට කීවේ ය. එසේ උරියා එදත්, පසු දිනත් ජෙරුසලමේ සිටියේ ය.</verse>
				<verse number="13">පසු දින දී දාවිත් ඔහු කැඳවා, ඔහුට කන්නටත්, බොන්නටත් දී ඔහු වෙරිමත් කෙළේ ය. ඔහු සවස තමාගේ ස්වාමියාගේ මෙහෙකරුවන් සමඟ තමාගේ ඇඳේ නිදන පිණිස ගියේ ය. එහෙත් සිය ගෙදරට නො‍ගියේ ය.</verse>
				<verse number="14">පසු දින උදේ දාවිත් ජෝවාබ්ට ලියුමක් ලියා එය උරියා අතේ යැවී ය.</verse>
				<verse number="15">ඔහු ඒ ලියුමේ, “සටන ඉතා බලවත් ව තිබෙන තැනක උරියා සිටුවා, පහර ලැබ නසින පිණිස ඔහු අත්හැර අහක් වන්නැ”යි ලියා යැවී ය.</verse>
				<verse number="16">ජෝවාබ් නුවර වටලා සිටිය දී වීරවන්ත මිනිසුන් සිටින බව ඔහු දැන සිටි ස්ථානයේ උරියා සිටෙවුවේ ය.</verse>
				<verse number="17">නගර වැසියෝ පිටතට අවුත් ජෝවාබ් සමඟ යුද්ධ කළහ. එවිට සෙනඟගෙන් එනම්, දාවිත්ගේ සේවකයන්ගෙන් සමහරෙක් මැරී වැටුණ හ. හිත්තීය උරියා ද මැරුම් කෑවේ ය.</verse>
				<verse number="18">එවිට ජෝවාබ් යුද්ධය ගැන සියලු කාරණා දාවිත්ට දන්වා යැවී ය.</verse>
				<verse number="19">ඔහු පණිවුඩකාරයාට කතා කොට, “ඔබ යුද්ධය ගැන සියලු කාරණා රජුට කියා නිම වූ කල,</verse>
				<verse number="20">රජු කෝප වී, ‘ඔබ සටන් කරන පිණිස නගරයට එපමණ ළං වූයේ මන් ද? ඔවුන් පවුරේ සිට දුන්නෙන් විදින බව දන්නේ නැද් ද?</verse>
				<verse number="21">ජෙරුබ්බෙෂෙත්ගේ පුත් අබිමෙලෙක් මරන ලද්දේ කවරෙකු විසින් ද? තේබේශ්හි දී ස්ත්‍රියක පවුරේ සිට ඔහු පිට ඇඹරුම් ගලක උඩ පළුව හෙළා ඔහු මැරුවා නො‍වේ ද? ඔබ එපමණ පවුරට ළං වුණේ මන්දැ’යි ඔබට කීවොත්, ‘ඔබේ සේවකයා වන හිත්තීය උරියා ද මළේ ය’යි දන්වන්නැ”යි ඔහුට අණ කෙළේ ය.</verse>
				<verse number="22">මෙසේ පණිවුඩකාරයා ගොස්, ජෝවාබ් තමා අත කියා යැවූ සියල්ල දාවිත්ට දැන්වී ය.</verse>
				<verse number="23">පණිවුඩකාරයා දාවිත්ට කතා කොට, “ඒ මිනිසුන් අපට විරුද්ධ ව බලවත් වී අප සමඟ සටන් කරන පිණිස පිටතට ආ විට අපිත් ඔවුන්ට විරුද්ධ ව දොරටුව දක්වා ගියෙමු.</verse>
				<verse number="24">එවිට දුනුවායෝ පවුරේ සිට ඔබේ සේවකයන්ට විද්දෝ ය. රජ්ජුරුවන්ගේ සේවකයන් සමහරෙක් මළහ. ඔබේ සේවක හිත්තීය ජාතික උරියාත් මළේ ය”යි කී ය.</verse>
				<verse number="25">එවිට දාවිත් පණිවුඩකාරයාට කතා කොට, “ඔබ ජෝවාබ්ට මෙසේ කියන්න: ‘මේ කාරණය ගැන කණගාටු නොවන්න. මන්ද, කඩුව කවරෙකු නසන්නේ දැ යි කාට කිව හැකි ද? නගරයට තවත් දරුණු ලෙස පහර දී එය බිඳ හෙළන්න’ කියා ඔහුට ධෛර්ය දෙන්නැ”යි කී ය.</verse>
				<verse number="26">උරියාගේ බිරිඳ තමාගේ සැමියා වන උරියා මැරුණ බව අසා, ඔහු ගැන වැලපුණා ය.</verse>
				<verse number="27">වැලපීමේ කාලය නිම වූ විට දාවිත් තමාගේ නිවෙසට ඈ ගෙන්වා ගත්තේ ය. ඔහු ඈ සරණ පාවාගත්තේ ය. ඈ දාවිත්ට දාව පුත්‍රයෙකු ලැබුවා ය. එහෙත්, දාවිත් කළ ක්‍රියාව ගැන සමිඳාණන් වහන්සේ ඉතා අප්‍රසන්න වූ සේක.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">සමිඳාණන් වහන්සේ දාවිත් වෙත නාතාන් යැවූ සේක. ඔහු දාවිත් ළඟට අවුත් මෙසේ කී ය: “එක් නුවරක මනුෂ්‍යයෝ දෙදෙනෙක් සිටියහ. එක් කෙනෙක් ධනවතෙකි; අනික් තැනැත්තා දිළින්දෙකි.</verse>
				<verse number="2">ධනවතාට බැටළු හා ගව පට්ටි ඉතා විශාල ගණනක් තිබිණි.</verse>
				<verse number="3">එහෙත්, තමා මිලට ගෙන ඇති කළ එක කුඩා බැටළු පැටියෙකු හැර වෙන කිසිවක් දිළින්දාට නො‍ වී ය. ඒ බැටළු වැස්සිය ඔහු සමඟ ද ඔහුගේ දරුවන් සමඟ ද වැඩෙමින්, ඔහුගේ කෑමවලින් කමින් ද ඔහුගේ කුසලානෙන් බොමින් ද ඇති දැඩි වූවා ය. ඔහු ඒ බැටළු වැස්සී සිය ළයෙහි හොවාගත්තේ ය. ඒ වැස්සී ඔහුට දුවක මෙන් වූවා ය.</verse>
				<verse number="4">“දිනක් ධනවතාගේ ගෙදරට ගමනක් යන කෙනෙක් ආවේ ය. ධනවතා තමාගේ ගෙදරට ආ මඟියාට කෑම පිළියෙළ කරන පිණිස සතෙකු තමාගේ බැටළුවන්ගෙන් වත්, ගවයන්ගෙන් වත් ගන්නට අකමැති වී දිළින්දාගේ බැටළු වැස්සිය අරගෙන තමාගේ ගෙදරට ආ මිනිසාට කෑමක් පිළියෙළ කෙළේ ය.”</verse>
				<verse number="5">ඒ ඇසූ දාවිත්ගේ කෝපය ඒ මිනිසාට විරුද්ධ ව තදින් ඇවිළී, ඔහු නාතාන්ට කතා කොට, “මේ දේ කළ මිනිසා මැරුම් කෑ යුතු ය කියා ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි.</verse>
				<verse number="6">ඔහු මේ ක්‍රියාව කළ බැවින් ද අනුකම්පාව නො‍දැක්වූ බැවින් ද ඒ බැටළු වැස්සී වෙනුවට සතරදෙනෙකු දිය යුතු ය”යි කී ය.</verse>
				<verse number="7">එවිට නාතාන් දාවිත්ට මෙසේ කීවේ ය: “ඒ මිනිසා ඔබ තමයි; එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම නුඹ ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් අභිෂේක කර, මම ම නුඹ සාවුල් අතින් ගළවා ගතිමි.</verse>
				<verse number="8">මම නුඹේ ස්වාමියාගේ වංශය ද ඔහුගේ භාර්යාවන් ද නුඹට ම දිනිමි. ඉශ්රායෙල් හා ජුදා වංශයත් නුඹට දිනිමි. මෙය නුඹට ප්‍රමාණවත් නොවන්නේ නම්, මෙවැනි තවත් දේ මම නුඹට දෙන්නෙමි.</verse>
				<verse number="9">නුඹ සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කිරීමෙන් උන් වහන්සේගේ වචනය සුළු කොට සිතුවේ කුමක් නිසා ද? නුඹ හිත්තීය ජාතික උරියා කඩුවෙන් නසා, ඔහුගේ බිරිඳ නුඹේ බිරිඳ වශයෙන් ගත්තෙහි ය. නුඹ අම්මොන්වරුන් ලවා ඔහු කඩුවෙන් මැරෙව්වෙහි ය.</verse>
				<verse number="10">ඉතින් මා සුළු කොට සිතා, හිත්තීය ජාතික උරියාගේ බිරිඳ නුඹේ බිරිඳ වශයෙන් ගත් බැවින් කඩු පහර කිසි කලක නුඹේ වංශයෙන් පහ නොවන්නේ ය.’</verse>
				<verse number="11">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම නුඹට විරුද්ධ ව නුඹේ ම පවුලෙන් විපත්තිය උපදවා, නුඹේ ඇස් ඉදිරියෙහි නුඹේ භාර්යාවන් රැගෙන නුඹේ අසල්වැසියෙකුට දෙන්නෙමි. ඔහු එළිමහනෙහි නුඹේ භාර්යාවන් සමඟ සේවනයේ යෙදෙන්නේ ය.</verse>
				<verse number="12">නුඹ කළ දේ නුඹ කෙළේ රහසින් ය; එහෙත්, මම මේ දේ සියලු ඉශ්රායෙල්වරුන්ට පෙනෙන ලෙස දවල් කාලයේ කරන්නට සලස්වන්නෙමි.’</verse>
				<verse number="13">එවිට දාවිත් පිළිතුරු දෙමින්, “මම සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමි”යි නාතාන්ට කී ය. නාතාන් ද කතා කරමින්, “සමිඳාණන් වහන්සේ ඔබේ පාපයට ක්ෂමාව දුන් සේක; ඔබ නො‍නසින්නෙහි ය;</verse>
				<verse number="14">එහෙත්, ඔබේ මේ ක්‍රියාව හේතුකොටගෙන සමිඳාණන් වහන්සේට අපහාස කළ බැවින් ඔබට දාව උපදින දරුවා මැරෙන්නේ ම ය”යි දාවිත්ට කී ය.</verse>
				<verse number="15">ඉන්පසු නාතාන් සිය ගෙදරට ගියේ ය. දාවිත්ගෙන් උරියාගේ බිරිඳ ලැබූ දරුවා රෝගයකින් පෙළෙන්නට සමිඳාණන් වහන්සේ සැලැසූ සේක. ළදරුවා ඉතා රෝගාතුර විය.</verse>
				<verse number="16">එබැවින් ළදරුවා ගැන දාවිත් දෙවියන් වහන්සේට කන්නලව් කෙළේ ය. දාවිත් නිරාහාර ව සිට, ගෙට ඇතුල් වී බිම වැතිර මුළු රෑ ගත කෙළේ ය.</verse>
				<verse number="17">ඔහු බිමෙන් නැඟුටුවන්නට ඔහුගේ ගෙදර වැඩිහිටියෝ ඔහු ළඟ සිටියහ. එහෙත්, ඔහු නැඟිටින්නට කැමැති නො‍ වී ය. ඔවුන් සමඟ කෑම කෑවේ වත් නැත.</verse>
				<verse number="18">සත් වන දා දරුවා මැරුණේ ය. දාවිත්ගේ සේවකයෝ දරුවා මැරුණු බව ඔහුට දන්වන්න බිය වූ හ. මන්ද, “දරුවා ජීවත් ව සිටිය දී අප ඔහුට කතා කළ විට ඔහු අපේ හඬට සවන් දුන්නේ නැත. ඉතින් දරුවා මැරුණ බව ඔහුට කීවොත් සමහර විට ඔහු තමාට යම් අනතුරක් කරගන්නට බැරි නැතැ”යි ඔව්හු සිතූ හ.</verse>
				<verse number="19">එහෙත්, දාවිත් තමාගේ මෙහෙකරුවන් රහසින් කතා කරනු දැක, දරුවා මළ බව තේරුම්ගෙන, “ළදරුවා මැරුණේ දැ”යි මෙහෙකරුවන්ගෙන් ඇසී ය. ඔව්හු ද, “ළදරුවා මැරුණේ ය”යි කී හ.</verse>
				<verse number="20">එවිට දාවිත් බිමෙන් නැඟිට ස්නානය කොට, තෙල් ගාගෙන, තමාගේ වස්ත්‍ර මාරු කර, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වී නමස්කාර කොට, ඉන්පසු සිය නිවෙසට ආවේ ය. තවද, ඔහු තමා ඉදිරියෙහි කෑම තබන්න කියා, කෑම කෑවේ ය.</verse>
				<verse number="21">එවිට ඔහුගේ සේවකයෝ ඔහුට කතා කොට, “ඔබ කළ මේ දේ කුමක් ද? ළදරුවා ජීවත් ව සිටිය දී ඔබ ඔහු නිසා නිරාහාර ව ඇඬුවෙහි ය. එහෙත්, ළදරුවා මැරුණු විට ඔබ නැඟිට කෑම කෑවෙහි ය”යි කී හ.</verse>
				<verse number="22">දාවිත් පිළිතුරු දෙමින්, “ළදරුවා ජීවත් ව සිටිය විට මම නිරාහාර ව සිට ඇඬුවෙමි. මා එසේ කෙළේ, ‘දරුවා ජීවත් වන ලෙස සමිඳාණන් වහන්සේ මට කරුණා කරන සේක් ද, නො‍කරන සේක් ද කියා කවුරු දනිත් දැ’යි මා සිතූ බැවිනි.</verse>
				<verse number="23">එහෙත්, දැන් ඔහු මළ පසු කුමට නිරාහාර ව සිටිම් ද? ඔහු නැවත ගෙන්වාගන්නට පුළුවන් ද? මා ඔහු ළඟට යනවා මිස, ඔහු මා ළඟට එන්නේ නැතැ”යි කී ය.</verse>
				<verse number="24">ඉන්පසු දාවිත් තමාගේ බිරිඳ වන බැත්-ෂෙබා සනසා, ඈ ළඟට පැමිණ, ඈ සමඟ සයනය කෙළේ ය. ඈ පුතෙකු ලැබුවා ය. සලමොන් යන නම දාවිත් ඔහුට තැබුවේ ය. සමිඳාණන් වහන්සේ දරුවාට ප්‍රේම කළ සේක.</verse>
				<verse number="25">ඒ බව උන් වහන්සේ දිවැසිවර නාතාන් අත දන්වා හැර, සමිඳාණන් වහන්සේ කී පරිදි, ඔහුට ‘සමිඳුන් ප්‍රේම කළ තැනැත්තා’ යන අර්ථය ඇති ‘ජෙදීදියා’ යන නම තැබී ය.</verse>
				<verse number="26">ජෝවාබ් අම්මොන්වරුන්ට අයිති රබ්බා නගරයට විරුද්ධ ව යුද්ධ කොට රාජධානිය අල්ලාගත්තේ ය.</verse>
				<verse number="27">ජෝවාබ් දාවිත් රජු වෙත පණිවුඩකාරයන් යවමින්, “රබ්බා නගරයට විරුද්ධ ව යුද්ධ කෙළෙමි; ජලය සපයන ඒ රාජධානිය ද අල්ලාගතිමි.</verse>
				<verse number="28">එබැවින් මා විසින් ඒ නගරය අල්ලාගැනීමෙන් ඊට මාගේ නාමය නො‍ලැබෙන පිණිස, ඔබ ඉතිරි සෙනඟ රැස් කරගෙන නගරයට විරුද්ධ ව කඳවුරු බැඳ එය අල්ලාගත මැනවැ”යි කියන්නට නියම කෙළේ ය.</verse>
				<verse number="29">දාවිත් වනාහි, මුළු සෙනඟ රැස් කරගෙන, රබ්බා නගරයට ගොස්, ඊට විරුද්ධ ව සටන් කොට එය අල්ලාගත්තේ ය.</verse>
				<verse number="30">ඔහු මිල්කොම් රජුගේ ඔටුන්න ඔහුගේ හිසෙන් ගත්තේ ය. එහි බර, රන් කිලෝග්‍රෑම් තිස්පහක් විය. එහි අනර්ඝ මැණික් ගලක් අල්ලා තිබිණි. එය දාවිත්ගේ හිසේ තබන ලද්දේ ය. ඔහු ඒ නුවරින් කොල්ලකෑ බොහෝ දේ ගෙනාවේ ය.</verse>
				<verse number="31">ඔහු එහි සිටි සෙනඟ පිටතට ගෙන්වා, කියත්වලින් ද යකඩ ගල් කටුවලින් ද යකඩ පොරෝවලින් ද වැඩ කරන්නටත්, ගඩොල් උදුන්වල වැඩ කරන්නටත් ඔවුන් යෙදෙවුවේ ය. ඔහු අම්මොන්වරුන්ගේ සියලු නගරවලට මෙසේ කෙළේ ය. ඉන්පසු දාවිත් රජ සහ මුළු සෙනඟ ජෙරුසලමට පෙරළා ආහ.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">ඉන්පසු මෙසේ සිදු විය. දාවිත්ගේ පුත් අබ්සලොම්ට තාමාර් නම් රුවැති සහෝදරියක් සිටියා ය. දාවිත්ගේ පුත් අම්නො‍න් ඈට ප්‍රේම කෙළේ ය.</verse>
				<verse number="2">අම්නො‍න් තමාගේ සහෝදරී වූ තාමාර්ට ප්‍රේම කළ නිසා අසනීප වන තරම් සිත් වේදනාවෙන් සිටී ය. ඈ කන්‍යාවක වන බැවින් ඈට කිසිවක් කිරීම දුෂ්කර බව අම්නො‍න්ට පෙනුණේ ය.</verse>
				<verse number="3">දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයාගේ පුත් ජොනාදාබ් නම් මිත්‍රයෙක් අම්නො‍න්ට සිටියේ ය. ජොනාදාබ් උපායේ ඉතා දක්ෂ මිනිසෙකි.</verse>
				<verse number="4">ඔහු අම්නො‍න්ට කතා කොට, “රාජ පුත්‍රය, ඔබ දවසින් දවස මෙසේ කෘශවන්නේ මන් ද? මට කියන්නේ නැද්දැ”යි ඇසී ය. එවිට අම්නො‍න්, “මාගේ සහෝදර අබ්සලොම්ගේ සහෝදරිය වන තාමාර්ට මම ආලය කරමි”යි ඔහුට කී ය.</verse>
				<verse number="5">ජොනාදාබ් ද පිළිතුරු දෙමින්, “ඔබ ලෙඩින් සිටින්නා සේ ඔබේ යහනේ වැතිර සිට, ඔබේ පියාණන් ඔබ බලන්නට ආ කල, ඔහුට කතා කොට, ‘මාගේ සහෝදරී වන තාමාර් මා වෙත අවුත් මට කෑම දෙන්නටත්, මට පෙනෙන ලෙස කෑම පිළියෙළ කරන්නටත්, ඇගේ අතින් එය කන්නටත් අවසර දුන මැනවැ’යි ඔහුට කියන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="6">මෙසේ අම්නො‍න් ලෙඩින් සිටින්නා සේ වැතිර සිටියේ ය. රජු අම්නො‍න් බලන්නට ආ කල, “මාගේ සහෝදරී වන තාමාර්ගේ අතින් ම මට කන්නට පුළුවන් වන පිණිස ඈ අවුත් මා ඇස් ඉදිරියේ ම රොටි දෙකක් සාදන්නට ඈට අවසර දුන මැනවැ”යි කී ය.</verse>
				<verse number="7">එවිට දාවිත් පණිවුඩයක් යවමින්, “ඔබේ සහෝදර අම්නො‍න්ගේ නිවෙසට ගොස්, ඔහුට කෑම සාදා දෙන්නැ”යි ගෙදර සිටි තාමාර්ට කියා යැවී ය.</verse>
				<verse number="8">එවිට තාමාර් තමාගේ සහෝදර අම්නො‍න්ගේ ගෙට ගියා ය. ඔහු නිදා සිටියේ ය. ඈ පිටි රැගෙන අනා, ඔහුගේ ඇස් ඉදිරියෙහි දී රොටි සාදා, පුළුස්සා,</verse>
				<verse number="9">ඇතිලිය ගෙනවුත් ඔහු ඉදිරියෙහි ඒවා බෙදා දුන්නා ය. එහෙත්, ඔහු කන්නට අකමැති විය. අම්නො‍න්, “හැම දෙනා ම මා වෙතින් පිටතට යන්නැ”යි කී ය. එවිට සියලු දෙනා ම ඔහු වෙතින් පිටතට ගියහ.</verse>
				<verse number="10">අම්නො‍න් කතා කරමින්, “මා ඔබේ අතින් කන පිණිස, කෑම ඇතුළු ගෙට ගෙනෙන්නැ”යි තාමාර්ට කීවේ ය. තාමාර් ඈ සෑදූ රොටි ගෙන ඇතුල් ගෙයි සිටි ඇගේ සහෝදර අම්නො‍න් ළඟට ගෙන ගියා ය.</verse>
				<verse number="11">ඒවා ඔහුට කවන්නට ළඟට ගෙන ගිය විට ඔහු ඈ අල්ලා, “මාගේ සහෝදරිය, ඇවිත් මා සමඟ සයනය කරන්නැ”යි ඈට කී ය.</verse>
				<verse number="12">එවිට ඈ කතා කොට, “මාගේ සහෝදරය, එසේ නො‍වේවා. මට අවනම්බු නො‍කරන්න; ඉශ්රායෙල්හි එබඳු දෙයක් කරන්නට යුතු නැත; මේ නින්දිතකම නො‍කරන්න;</verse>
				<verse number="13">එසේ කළො‍ත්, මා මාගේ නින්දාව සඟවාගන්නේ කෙසේ ද? ඔබත් ඉශ්රායෙල්හි නින්දිතයන්ගෙන් එක් කෙනෙකු මෙන් වන්නෙහි ය. ඒ නිසා රජ්ජුරුවන්ට කතා කරන්න; ඔහු මා ඔබට නො‍ දී සිටින්නේ නැතැ”යි කීවා ය.</verse>
				<verse number="14">එහෙත්, ඔහු ඇගේ කීමට සවන් නො‍ දී, ඈට වඩා ශක්තිමත් බැවින් බලහත්කාරකමින් ඈ දූෂණය කළේ ය.</verse>
				<verse number="15">එවිට අම්නො‍න් ඈට බොහෝ සේ වෛර කෙළේ ය. ඔහුට ඇති වූ ඒ වෛරය කලින් ඔහු ඈට තිබුණ ආලයට වඩා බලවත් විය. “නැඟිට පලයන්නැ”යි අම්නො‍න් ඈට කී ය.</verse>
				<verse number="16">ඈ කතා කොට, “එසේ නො‍කරන්න; මා යන්නට හැරීම ඔබ මට කළ අනික් නපුරට වඩා මහත් ය”යි කීවා ය. එහෙත්, ඔහු ඈට සවන් නො‍ දී,</verse>
				<verse number="17">තමාට සේවය කළ වැඩකාරයාට අඬගසා, “මේ ස්ත්‍රිය මා වෙතින් පිටතට හැර, දොර අගුල ලාපන්නැ”යි කී ය.</verse>
				<verse number="18">ඈ අත් දිග ඇඳුමක් ඇඳ සිටියා ය. රජුගේ කන්‍යා දූවරුන් එබඳු ඇඳුම් ඇඳීම සිරිතකි. ඔහුගේ වැඩකාරයා ඈ පිටතට ඇර, දොර අගුල් දැමුවේ ය.</verse>
				<verse number="19">එවිට තාමාර් තමාගේ හිසේ අළු දමාගෙන, ඇඳ සිටි දිග අත් ඇති ඇඳුම ඉරාගෙන, හිසේ අත තබාගෙන කෑගසමින් ගියා ය.</verse>
				<verse number="20">ඇගේ සහෝදර අබ්සලොම් ඈට කතා කොට, “ඔබේ සහෝදර අම්නො‍න් ඔබ සමඟ සිටියේ ද? ඉතින් මාගේ සහෝදරිය, නිශ්ශබ්ද ව සිටින්න. ඔහු ඔබේ සහෝදරයා ය. මේ කාරණය සිතට නො‍ගන්නැ”යි ඈට කීවේ ය. තාමාර් ඇගේ සහෝදර අබ්සලොම්ගේ ගෙදර අසරණ භාවයෙන් විසුවා ය.</verse>
				<verse number="21">දාවිත් මේ සියලු දේ අසා ඉතා උදහස් විය.</verse>
				<verse number="22">එහෙත්, අබ්සලොම් අම්නො‍න්ට විරුද්ධ ව ගුණ වත්, අගුණ වත් නො‍කීවේ ය. එසේ නො‍කීවේ, තමාගේ සහෝදරී වන තාමාර්ට අම්නො‍න් අවනම්බු කළ නිසා අබ්සලොම් ඔහුට වෛර බැන්ද බැවිනි.</verse>
				<verse number="23">මීට දෑවුරුද්දකට පසු, එප්‍රායිම්ට නුදුරු වූ බාල්-හාශොර්හි අබ්සලොම්ට බැටළු ලොම් කපන්නෝ වූ හ. අබ්සලොම් රජුගේ සියලු පුත්‍රයන් කැඳෙව්වේ ය.</verse>
				<verse number="24">ඔහු රජු වෙත අවුත් කතා කොට, “ඔබේ මෙහෙකරුවාට බැටළු ලොම් කපන්නෝ සිටිති; ඉතින් රජු ද තමන්ගේ සේවකයන් ද ඔබේ මෙහෙකරුවා සමඟ අව මැනවැ”යි කී ය.</verse>
				<verse number="25">රජ ද පිළිතුරු දෙමින්, “නැත, මාගේ පුත්‍රය, අපි සියල්ලෝ ම නො‍එන්නෙමු; ආවොත් ඔබට බරක් වනු ඇතැ”යි අබ්සලොම්ට කී ය. අබ්සලොම් පෙරැත්ත කළ නමුත්, රජ යන්නට කැමැති නො‍වී, ඔහුට ආශීර්වාද කොට පිටත් කර හැරියේ ය.</verse>
				<verse number="26">එකල අබ්සලොම්, “එසේ නම්, මාගේ සහෝදර අම්නො‍න්ට අප සමඟ යන්නට අවසර ලැබේවා”යි කී ය. “ඔහු ඔබ සමඟ යන්නේ කුමට දැ”යි රජු ඇසී ය.</verse>
				<verse number="27">එහෙත්, අබ්සලොම් ඔහුට පෙරැත්ත කෙළෙන්, අම්නො‍න්ට ද රජුගේ සියලු පුත්‍රයන්ට ද ඔහු සමඟ යන්නට ඉඩ දුන්නේ ය.</verse>
				<verse number="28">අබ්සලොම් තමාගේ වැඩකාරයන්ට අණ කරමින්, “අම්නො‍න් මුද්‍රික පානය බී විනෝද සිතින් සිටින කල, ‘අම්නො‍න්ට පහර දෙන්නැ’යි මා ඔබට කී විට, ඔහු මරාදමන්න; බිය නොවන්න; ඔබට අණ කරන්නේ මම නො‍වෙම් ද? ධෛර්යවත් ව ද බලසම්පන්න ව ද සිටින්නැ”යි කී ය.</verse>
				<verse number="29">අබ්සලොම්ගේ වැඩකාරයෝ අබ්සලොම් අණ කළ ලෙස අම්නො‍න්ට කළහ. එවිට රජුගේ සියලු පුත්‍රයෝ නැඟිට තම තමන්ගේ අශ්වතරයන් පිට නැඟී පලා ගියහ.</verse>
				<verse number="30">ඔවුන් මාර්ගයේ යද්දී, “රජුගේ සියලු පුත්‍රයෝ අබ්සලොම් විසින් මරන ලද්දේ ය; එක් කෙනෙක් වත් ඉතුරු වී නැතැ”යි දාවිත්ට සැළ විය.</verse>
				<verse number="31">එවිට රජ නැඟිට සොවින් තමාගේ වස්ත්‍ර ඉරාගෙන, බිම වැතුරුණේ ය; ඔහුගේ සියලු සේවකයෝ ද තමන්ගේ වස්ත්‍ර ඉරාගෙන ළඟ සිටියහ.</verse>
				<verse number="32">දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයාගේ පුත් ජොනාදාබ් කතා කොට, “රජුගේ පුත්‍රයන් වන ඒ තරුණයන් සියල්ලන් ම ඔව්හු මැරුවෝ යයි මාගේ ස්වාමියා නො‍සිතා වා; මැරුණේ අම්නො‍න් පමණයි. මන්ද, අබ්සලොම්ගේ සහෝදරී වන තාමාර් අම්නො‍න් විසින් කෙලෙසුණු දා පටන්, අබ්සලොම් එසේ කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටියේ ය.</verse>
				<verse number="33">ඒ නිසා සියලු රාජ කුමාරයෝ මළෝ යයි මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් සිතට නො‍ගත මැනව. මැරුණේ අම්නො‍න් පමණකි”යි කීවේ ය.</verse>
				<verse number="34">අබ්සලොම් පලා ගියේ ය. රැකවලේ සිටි තරුණයා හිස ඔසවා බැලූ විට, විශාල සෙනඟක් කන්දේ පැත්තකින් හොරානායිම් මාර්ගයේ එනවා දුටුවේ ය.</verse>
				<verse number="35">ජොනාදාබ් රජුට කතා කොට, “අන්න, රාජ කුමාරයෝ එති. ඔබේ මෙහෙකරුවා කී ලෙස ම සිද්ධ වී තිබේ ය”යි කීවේ ය.</verse>
				<verse number="36">තවද, ඔහු කතා කර නිම වූ කෙණෙහි ම රාජ කුමාරයෝ අවුත් ශබ්ද නඟා ඇඬූ හ. රජ ද ඔහුගේ සියලු සේවකයෝ ද ශබ්ද නඟා ඇඬූ හ.</verse>
				<verse number="37">අබ්සලොම් ගෙෂූර්හි රජ වූ අම්මිහුද්ගේ පුත් තල්මයි වෙත පලා ගියේ ය. දාවිත් තමාගේ පුත්‍රයා ගැන හැම දින ම බොහෝ කාලයක් තුළ වැලපිණි.</verse>
				<verse number="38">මෙසේ අබ්සලොම් ගෙෂූර්ට පලා ගොස් එහි තුන් අවුරුද්දක් සිටියේ ය.</verse>
				<verse number="39">අම්නො‍න්ගේ මරණයෙන් පසු දාවිත් සැනසීමට පත් ව සිටි බැවින්, අබ්සලොම් කෙරෙහි ඔහුගේ සිත ඇදී ගියේ ය.</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">දාවිත් රජුගේ සිත අබ්සලොම් කෙරෙහි ඇලුම් ව තිබෙන බව ශෙරුයාගේ පුත් ජෝවාබ්ට පෙනී ගියේ ය.</verse>
				<verse number="2">එවිට තෙකෝවායෙන් කපටි ස්ත්‍රියක ගෙන්වාගෙන ඈට කතා කොට, “ඔබ වැලපෙන්නියක මෙන් වැලපීමේ වස්ත්‍ර හැඳ, තෙල් නො‍ගා, මියගිය කෙනෙකු ගැන බොහෝ කල් වැලපෙන ස්ත්‍රියක මෙන් වී,</verse>
				<verse number="3">රජු ළඟට ගොස්, මෙසේ කියන්නැ”යි කීවේ ය. ජෝවාබ්, ඈ විසින් කියනු ලැබිය යුතු දේ ඈට කියා දිනි.</verse>
				<verse number="4">තෙකෝවාවේ ස්ත්‍රිය රජු ළඟට ගොස්, මුණින්තළා වී වැඳ, “අනේ දේවයන් වහන්ස, පිහිට වුව මැනවැ”යි කීවා ය.</verse>
				<verse number="5">රජු කතා කොට, “ඔබට කුමක් වෙලා දැ”යි ඇගෙන් ඇසූ විට, ඈ පිළිතුරු දෙමින්, “මම සැබැවින් ම වැන්දඹුවක්මි. මාගේ පුරුෂයා මැරුණේ ය.</verse>
				<verse number="6">ඔබේ දාසීට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියහ. ඒ දෙදෙනා පිටත දී දබර කරගත්හ. ඔවුන් නවත්වන්නට කිසිවෙකු නො‍සිටි නිසා, එක් කෙනෙක් අනෙකාට ගසා ඔහු මැරුවේ ය.</verse>
				<verse number="7">ඉතින් දැන් පවුලේ සියල්ලෝ ඔබේ දාසියට විරුද්ධ ව නැඟිට, ‘සිය සහෝදරයා මැරූ මිනිසා එසේ කළ බැවින් අප ඔහු මරා දමන පිණිස අපට භාර දෙන්න. මෙසේ අපි උරුමකරුවාත් විනාශ කරමු’යි කියති. මෙයාකාරයෙන් මාගේ පුරුෂයාට මිහි පිට නාමයක් වත්, දරුවෙකු වත් නො‍පවතින ලෙස, ඔවුන් මට ඉතිරි ව තිබෙන ගිනි අඟුර නිවනු ඇතැ”යි කීවා ය.</verse>
				<verse number="8">රජ ද කතා කරමින්, “ඔබ ගෙදර යන්න. මම ඔබේ පැමිණිල්ල ගැන බේරුමක් කරන්නෙමි”යි කීවේ ය.</verse>
				<verse number="9">තෙකෝවාහි ස්ත්‍රිය කතා කරමින්, “මාගේ ස්වාමීන් වන රජතුමනි, ඒ දෝෂය මා පිටත්, මාගේ වංශය පිටත් වේවා; රජු ද රජුගේ සිංහාසනය ද ඒ ගැන නිර්දෝෂ වේවා”යි කීවා ය.</verse>
				<verse number="10">රජු ද, “ඔබට විරුද්ධ ව කතා කරන අය මා ළඟට ගෙනෙන්න. එවිට ඔහු තවත් ඔබට අත නො‍ගසන්නේ ය”යි කී ය.</verse>
				<verse number="11">එවිට ඈ, “ලේවලට පළිගන්න සිටින මිනිසා තවත් අය විනාශ නො‍කරන පිණිස ද ඔහු මාගේ පුත්‍රයා නැති නො‍කරන පිණිස ද රජතුමනි, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් අයදින්නැ”යි කීවා ය. රජ ද, “ඔබේ පුත්‍රයාගේ හිසකෙසක් වත් බිම නො‍වැටෙන්නේ යයි ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම දිවුරා කියමි”යි කී ය.</verse>
				<verse number="12">එවිට ස්ත්‍රිය, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට වචනයක් කියන්නට ඔබේ දාසීට අවසර ලැබේවා”යි කීවා ය. “කියන්නැ”යි ඔහු කී ය.</verse>
				<verse number="13">ස්ත්‍රිය ද මෙසේ කීවා ය: “එසේ වී නම්, ඔබ දෙවියන් වහන්සේගේ සෙනඟට විරුද්ධ ව එබඳු දෙයක් කරන්නට කල්පනා කෙළේ මන් ද? ඔබ පන්නා දැමූ ඔබේ පුත්‍රයාට ආපසු එන්නට ඉඩ දී නැත. එබැවින් ඔබ කී දෙයින් ම ඔබ වරදකරුවෙක් වන්නෙහි ය.</verse>
				<verse number="14">මන්ද, බිම වැගුරුණු වතුර එකතු කරගන්නට බැරි ලෙස අප මැරෙන්නට ම ඕනෑ ය; දෙවියන් වහන්සේ වුව ද, මළ මිනිසෙකුට නැවත පණ නො‍දෙන සේක. එහෙත්, පිටුවහල් කළ මිනිසෙකු ආපසු ගෙන ඒමට මඟක් රජ්ජුරුවන්ට සොයාගත හැකි ය.</verse>
				<verse number="15">“එබැවින් දැන් මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට මේ කාරණය කියන්නට මා පැමිණ සිටින්නේ, සෙනඟ මා බිය ගැන්වූ නිසා ය. එබැවින්, මම රජ්ජුරුවන්ට කතා කරමි; සමහර විට රජ්ජුරුවන් වහන්සේ තම දාසියගේ ඉල්ලීම ඉෂ්ට කරනු වන්නට පුළුවන.</verse>
				<verse number="16">මන්ද, දෙවියන් වහන්සේගේ උරුමයෙන් මාත්, මාගේ පුත්‍රයාත් එක වර ම නැති කර දමන්නට හදන මිනිසාගේ අතින් තමන්ගේ දාසිය ගළවාගන්නට රජ්ජුරුවන් සවන් දෙනු ඇතැ යි මම සිතුවෙමි.</verse>
				<verse number="17">එබැවින් මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ගේ වචනයෙන් සැනසීම ලැබේ වා’යි ඔබේ දාසී කීවා ය. මන්ද, යහපත හා අයහපත විමසීමේ දී මාගේ ස්වාමීන් වන රජ්ජුරුවෝ දෙවියන් වහන්සේගේ දූතයෙකුට සමාන ය. එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ සිටින සේක් වා!”</verse>
				<verse number="18">එවිට රජ පිළිතුරු දෙමින්, “මා ඔබෙන් අසන දෙය මාගෙන් නො‍සඟවන්නැ”යි ස්ත්‍රියට කීවේ ය. ස්ත්‍රිය ද, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවෝ කතා කරත්වා”යි කීවා ය.</verse>
				<verse number="19">රජ ද, “මේ සියල්ල සම්බන්ධ ව ජෝවාබ් ඔබට අනුබල දී ඇද්දැ”යි ඇසී ය. ස්ත්‍රිය පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවෙනි, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් කී සියල්ල මඟ හැර දකුණට වත්, වමට වත් යන්නට කිසිවෙකුට නො‍හැකි බව ඔබේ නාමයෙන් මම දිවුරා කියමි. එසේ ය, ඔබේ සේවක වන ජෝවාබ් ම මට අණ කර ඔහු ම මේ සියලු වචන ඔබේ දාසීගේ කටට දුන්නේ ය.</verse>
				<verse number="20">ඔබේ සේවකයා වන ජෝවාබ් මෙසේ කෙළේ, ඒ කාරණය අන් මඟකට හරවන පිණිස ය. එහෙත්, මිහි පිට සියල්ල දැනගැනීමට මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ගේ ප්‍රඥාව දෙවියන් වහන්සේගේ දූතයෙකුගේ ප්‍රඥාව හා සමාන ය”යි කීවා ය.</verse>
				<verse number="21">එවිට රජ ජෝවාබ්ට කතා කොට, “මෙන්න, ඔබේ ඉල්ලීම ඉටු කර දෙමි. ඔබ ගොස් තරුණ අබ්සලොම් කැඳවාගෙන එන්නැ”යි කී ය.</verse>
				<verse number="22">ජෝවාබ් මුණින්තළා වී වැඳ රජුට ස්තුති කොට, “රජ්ජුරුවන් තමන්ගේ මෙහෙකරුවාගේ ඉල්ලීම ඉෂ්ට කළ නිසා, රජතුමනි, ඔබ ඉදිරියෙහි කරුණාව ලැබී තිබෙන බව ඔබේ මෙහෙකරුවා දැන් දන්නේ ය”යි කී ය.</verse>
				<verse number="23">මෙසේ ජෝවාබ් පිටත් ව ගෙෂූර් නගරයට ගොස්, අබ්සලොම් ජෙරුසලමට කැඳවාගෙන ආවේ ය.</verse>
				<verse number="24">රජ ද, “ඔහු තමාගේ ම ගෙදරට යේවා; ඔහු මා ඉදිරියට නො‍පැමිණිය යුතු ය”යි කී ය. එබැවින් අබ්සලොම් තමාගේ ගෙදරට හැරී ගියේ ය. ඔහු රජ්ජුරුවන් ඉදිරියට නො‍පැමිණියේ ය.</verse>
				<verse number="25">අබ්සලොම් මෙන් රූප ශෝභාව ගැන ප්‍රශංසා කටයුතු කෙනෙක් මුළු ඉශ්රායෙල්හි නො‍සිටියේ ය. පතුල පටන් හිස් මුදුන දක්වා ඔහුට කිසි කැළලක් නො‍ වී ය.</verse>
				<verse number="26">ඔහු තමාගේ හිස කෙස් අවුරුද්දෙන් අවුරුද්දට කැපුවේ ය. එසේ කෙළේ, ඔහුගේ කේශ කලාපය ඔහුට බර ව තිබුණ නිසා ය. ඔහු හිස කෙස් කැපූ විට එය කිරා බැලුවේ ය. ඒවායේ බර සම්මත රාජකීය මිම්ම අනුව කිලෝග්‍රෑම් දෙකක් විය.</verse>
				<verse number="27">අබ්සලොම්ට පුත්‍රයෝ තුන්දෙනෙක් ද එක දුවක් ද උපන්නාහ. දුවගේ නම තාමාර් ය. ඈ ශෝභන පෙනීමක් ඇති කාන්තාවක් වූවා ය.</verse>
				<verse number="28">අබ්සලොම් රජු ඉදිරියට නො‍පැමිණ දෑවුරුද්දක් ම ජෙරුසලමේ වාසය කෙළේ ය.</verse>
				<verse number="29">එවිට අබ්සලොම්, ජෝවාබ් රජු ළඟට යවන පිණිස, ඔහුට අඬගසා යැවී ය. එහෙත්, ඔහු එන්නට කැමැති නො‍ වී ය. ඔහු යළිත් දෙ වන වර ද කියා යැවී ය. එහෙත්, ඔහු එන්නට කැමැති නො‍ වී ය.</verse>
				<verse number="30">එබැවින් තමාගේ වැඩකාරයන්ට කතා කොට, “බලන්න, ජෝවාබ්ගේ කෙත මාගේ කෙතට යාබද ව තිබේ. එහි ඔහුට යව ගොයම් තිබේ. ඔබ ගොස් ඒවාට ගිනි තියන්නැ”යි කී ය. අබ්සලොම්ගේ මෙහෙකරුවෝ ඒ කෙතට ගිනි තැබූහ.</verse>
				<verse number="31">එවිට ජෝවාබ් නැඟිට අබ්සලොම්ගේ ගෙදරට අවුත්, “ඔබේ මෙහෙකරුවන් අවුත් මාගේ කෙතට ගිනි තැබුවේ මන්දැ”යි ඔහුගෙන් ඇසී ය.</verse>
				<verse number="32">අබ්සලොම් කතා කොට, “මෙහි පැමිණෙන්නැ යි ඔබට පණිවුඩ එව්වේ, ‘මම ගෙෂූර් සිට ආවේ කුමට ද? මේ වන තුරුත් එහි සිටියෙම් නම් හොඳ ය’ කියා දන්වා ඔබ රජු වෙත යවන පිණිස ය. ඉතින් මට රජුගේ මුහුණ දකින්නට ලැබේවා. මා තුළ අපරාධයක් ඇත්නම්, ඔහු මා මැරුවා වේ”යි කී ය.</verse>
				<verse number="33">ජෝවාබ් රජු ළඟට අවුත් එපවත් ඔහුට දැන්වී ය. ඔහු අබ්සලොම් කැඳවූ කල හෙතෙම රජු ළඟට අවුත්, රජු ඉදිරියෙහි මුණින්තළා වී වැන්දේ ය. රජ ද අබ්සලොම් සිඹගත්තේ ය.</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">අබ්සලොම් රථයක් ද අශ්වයන් ද තමාට පෙරටුවෙන් දුවන්නට මිනිසුන් පණස්දෙනෙකු ද සූදානම් කර ගත්තේ ය.</verse>
				<verse number="2">තවද, අබ්සලොම් අලුයම නැඟිට දොරටුවට යන මාර්ගය අයිනේ සිටිමින්, විනිශ්චය පිණිස නඩුවක් ඇති යම් මිනිසෙකු පැමිණි විට, ඔහුට අඬගසා, “ඔබ කුමන නගරයට අයිති දැ”යි ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “ඔබේ මෙහෙකරුවා අසවල් ඉශ්රායෙල් ගෝත්‍රයට අයිති ය”යි කී විට,</verse>
				<verse number="3">අබ්සලොම් ඔහු අමතා, “බලන්න, ඔබේ පැමිණිල්ල හොඳ ය. සාධාරණ ය. එහෙත්, ඔබේ ඒ පැමිණිල්ල අසන පිණිස රජු විසින් පත් කරන ලද කෙනෙක් නැතැ”යි කීවේ ය.</verse>
				<verse number="4">ඇරත්, “දේශයේ විනිශ්චයකාරයා වශයෙන් මම පත් කරනු ලබම් නම්, නඩුවක් හෝ පැමිණිල්ලක් හෝ ඇති කෙනෙකු මා වෙත ආ කල්හි මම ඔහුට යුක්තිය ඉටු කර දෙන්නෙමි”යි ද අබ්සලොම් කී ය.</verse>
				<verse number="5">යමෙකු ඔහුට වඳින්නට ළං වූ කල ඔහු තමාගේ අත දිගු කොට ඔහු අල්ලා සිඹගත්තේ ය.</verse>
				<verse number="6">විනිශ්චය පිණිස රජු ළඟට පැමිණි සියලු ඉශ්රායෙල්වරුන්ට අබ්සලොම් මෙලෙස කර ඔවුන්ගේ සිත් දිනාගත්තේ ය.</verse>
				<verse number="7">තවද, සතර අවුරුද්දකට පසු අබ්සලොම්, රජුට කතා කොට, “මා සමිඳාණන් වහන්සේට වුණ බාරය හෙබ්‍රොන්හි දී ඉෂ්ට කරන පිණිස මට යන්නට අවසර දුන මැනව.</verse>
				<verse number="8">මන්ද, ඔබේ මෙහෙකරුවා සිරියේ ගෙෂූර්හි සිටිය දී, ‘සමිඳාණන් වහන්සේ සැබැවින් ම මා නැවත ජෙරුසලමට පමුණුවන්නට යෙදුණොත්, මම සමිඳාණන් වහන්සේට සේවය කරන්නෙමි’යි බාරයක් වුණෙමි”යි කී ය.</verse>
				<verse number="9">“සාමදානයෙන් යන්නැ”යි රජ ඔහුට කී ය. ඔහු නැඟිට හෙබ්‍රොන් නගරයට ගියේ ය.</verse>
				<verse number="10">එහෙත්, අබ්සලොම් ඉශ්රායෙල් ගෝත්‍රයන් අතරෙහි ඔත්තුකාරයන් යවා, “ඔබට හොරණෑ ශබ්දය ඇසුණ කෙණෙහි ම, ‘අබ්සලොම් හෙබ්‍රොන්හි රජ වී සිටී ය’යි කියන්නැ”යි දන්වන්නට කී ය.</verse>
				<verse number="11">තවද, කැඳවන ලද මිනිස්සු දෙසියයක් අබ්සලොම් සමඟ ජෙරුසලමට ගියහ. ඔව්හු කිසිවක් නො‍දැන, අවංක සිතින් ගියහ.</verse>
				<verse number="12">අබ්සලොම් පූජා ඔප්පු කරන අතර දාවිත්ගේ මන්ත්‍රීවරයෙකු ද ගිලොන් වැසියෙකු ද වන අහිතොපෙල් ඔහුගේ නගරය වූ ගිලොයෙන් ගෙන්වා ගත්තේ ය. මෙසේ කුමන්ත්‍රණය බලවත් වී සෙනඟ වඩ වඩා අබ්සලොම්ට එකතු වූ හ.</verse>
				<verse number="13">පණිවුඩකාරයෙක් දාවිත් කරා පැමිණ, “ඉශ්රායෙල් මිනිසුන්ගේ සිත් අබ්සලොම් දෙසට ඇදී ගොස් ඇතැ”යි කී ය.</verse>
				<verse number="14">එවිට දාවිත් ජෙරුසලමේ තමා සමඟ සිටි තමාගේ සියලු සේවකයන්ට කතා කොට, “අපි පිටත් ව පලා යමු. නැතහොත් අපෙන් කිසිවෙක් අබ්සලොම්ගෙන් බේරෙන්නේ නැත. ඔහු වහා ම අප කරා පැමිණ, අප පිට අනතුරු පමුණුවා, කඩුවෙන් නගරයට පහර නො‍දෙන පිණිස පිට වී යන්නට ඉක්මන් කරන්නැ”යි කී ය.</verse>
				<verse number="15">රජුගේ සේවකයෝ රජුට කතා කොට, “අපේ ස්වාමීන් වන රජ්ජුරුවන් නියම කරන කවර දෙයක් වුව ද කරන්නට ඔබේ සේවකයෝ සැරසී සිටිති”යි කී හ.</verse>
				<verse number="16">එවිට රජ ද ඔහු අනුව ඔහුගේ ගෙයි වැසි සියල්ලෝ ද පිටත් ව ගියහ. රජ තෙමේ රාජ මාලිගාව බලාගැනීමට උපභාර්යාවන් දසදෙනෙකු නතර කොට පලා ගියේ ය.</verse>
				<verse number="17">මෙසේ රජ ද ඔහු සමඟ සියලු සෙනඟ ද පිටත් ව ගොස්, නගර සීමාවේ අන්තිම ගෙදර නැවතුණාහ.</verse>
				<verse number="18">ඔහුගේ සියලු සේවකයෝ ඔහු ළඟ සිටියහ. සියලු කෙරෙතිවරු ද සියලු පෙලෙතිවරු ද ගාත්හි සිට ඔහු අනුව ආ ගිත්තීය ජාතික මිනිස්සු හයසියයක් ද ඔහුට පෙරටු ව ගියහ.</verse>
				<verse number="19">එවිට රජ ගිත්තීය ජාතික ඉත්තයිට කතා කොට, “ඔබත් අප සමඟ එන්නේ මන් ද? හැරී ගොස් අලුත් රජු සමඟ සිටින්න. මන්ද, ඔබ විදේශිකයෙක් ය; ඔබේ රටෙන් පිට වූ කෙනෙක් ය;</verse>
				<verse number="20">ඊයේ පැමිණි ඔබට අද අප සමඟ ඔබමොබ යන්නට සැලැස්විය යුතු ද? මම වනාහි මට යා හැකි කොතැනට වුව ද යමි. ඔබ හැරී ඔබේ සහෝදරයන් කැඳවාගෙන යන්න. කරුණාවත්, සැබෑකමත් ඔබ සමඟ වේවා”යි කී ය.</verse>
				<verse number="21">ඉත්තයි රජුට උත්තර දෙමින්, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් සිටින්නේ යම් තැනක ද, එතැන ම මැරෙන්නට හෝ ජීවත් වන්නට හෝ ඔබේ මෙහෙකරුවා සිටින්නේ යයි ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ඔබේ නාමයෙන් ද දිවුරා කියමි”යි කී ය.</verse>
				<verse number="22">දාවිත් ද, “ගොස් එගොඩ වන්නැ”යි ඉත්තයිට කී ය. එවිට ගිත්තීය ජාතික ඉත්තයි ද ඔහුගේ සියලු මිනිස්සු ද ඔහුගේ පිරිවර ද එගොඩ වූ හ.</verse>
				<verse number="23">මුළු සෙනඟ යද්දී දේශයේ සෑම තැන ම මිනිස්සු මහා හඬින් ඇඬූ හ. රජු කිද්‍රොන් නම් ඔයෙන් එගොඩ වූ පසු සියලු සෙනඟ ද පාළුකරය බලා යන මාර්ගය දිගේ ගියහ.</verse>
				<verse number="24">ශාදොක් ද ඔහු සමඟ සියලු ලෙවීවරු ද දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව රැගෙන පැමිණියහ. මුළු ජනතාව නගරයෙන් අවුත් නිම වන තුරු ඔව්හු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අබියාතර් ළඟ බිම තැබූ හ.</verse>
				<verse number="25">රජ ශාදොක්ට කතා කොට, “දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව යළිත් නගරයට ගෙන යන්න. සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි මට කරුණාව ලැබුණොත්, උන් වහන්සේ යළිත් මා ගෙනවුත් ගිවිසුම් කරඬුවත්, එය තබා තිබෙන ස්ථානයත් මට පෙන්වනු ඇත.</verse>
				<verse number="26">එහෙත්, ‘නුඹ කෙරෙහි මම ප්‍රසන්න නොවෙමි’යි උන් වහන්සේ වදාරන සේක් නම්, මම මෙහි ය; උන් වහන්සේ කැමැති ලෙස මට කරන සේක් වා”යි කී ය.</verse>
				<verse number="27">රජ පූජක වූ ශාදොක්ට තවදුරටත් කතා කොට, “හොඳින් බලන්න. ඔබේ පුත් අහීමයාශ් ද අබියාතර්ගේ පුත් ජොනතන් ද යන ඔබේ පුත්‍රයන් දෙදෙනා සමඟ ඔබ ද අබියාතර් ද සාමදානයෙන් නගරයට පෙරළා යන්න.</verse>
				<verse number="28">මෙන්න, මට දන්වන්නට ඔබෙන් ආරංචි ලැබෙන තුරු මම පාළුකරයේ සමභූමිවල නවතින්නෙමි”යි කී ය.</verse>
				<verse number="29">එවිට ශාදොක් ද අබියාතර් ද දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව නැවත ජෙරුසලමට ගෙන ගොස් එහි නැවතී සිටියහ.</verse>
				<verse number="30">දාවිත් අඬ අඬා, හිස වසාගෙන, පාවහන් නැති ව, ඔලීව කන්දට නඟින පාරේ ගියේ ය. ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද තම තමන්ගේ හිස් වසාගෙන, අඬමින් නැඟී ගියහ.</verse>
				<verse number="31">අහිතොපෙල් කුමන්ත්‍රණ කාරයන් අතරේ අබ්සලොම් සමඟ සිටින බව දාවිත්ට දන්වන ලද්දේ ය. එවිට දාවිත්, “අහෝ සමිඳුනි, අහිතොපෙල්ගේ මන්ත්‍රණය අනුවණකමක් බවට හැරෙවුව මැනවැ”යි කී ය.</verse>
				<verse number="32">තවද, දෙවියන් වහන්සේට නමස්කාර කරන ස්ථානය වන කන්ද මුදුනට දාවිත් පැමිණි විට, අර්කීය ජාතික හූෂයි තමාගේ උතුරු සළුව ඉරාගෙන, හිස පිට පස් දමාගෙන ඔහුගේ පෙරමඟට ආයේ ය.</verse>
				<verse number="33">දාවිත් ඔහුට මෙසේ කී ය: “ඔබ මා සමඟ ගියොත් ඔබ මට බරක් වන්නෙහි ය.</verse>
				<verse number="34">එහෙත්, ඔබ නගරයට හැරී ගොස්, අබ්සලොම්ට කතා කර, ‘රජතුමනි, මම ඔබේ සේවකයා වෙමි; පළමු ව ඔබේ පියාගේ සේවකයෙකු ව සිටි ලෙස ම දැන් ඔබේ සේවකයෙක් වෙමි’යි කියන්නෙහි නම්, මා උදෙසා අහිතොපෙල්ගේ මන්ත්‍රණය නිෂ්ඵල කරන්නට ඔබට පුළුවන් වන්නේ ය.</verse>
				<verse number="35">පූජකයන් වන ශාදොක් හා අබියාතර් ඔබ සමඟ එහි සිටිනවා නො‍වේ ද? එබැවින් රජ ගෙදරින් අසන්නට ලැබෙන කවර දෙයක් වුව ද, ඔබ පූජකයන් වන ශාදොක්ටත්, අබියාතර්ටත් දන්වන්න.</verse>
				<verse number="36">ඔවුන්ගේ පුත්‍රයන් දෙදෙනා වන ශාදොක්ගේ පුත් අහීමයාශ් හා අබියාතර්ගේ පුත් ජොනතන් ද එහි ඔවුන් සමඟ සිටිති. ඔබ හැම දැනගන්න සියලු දේ ඔවුන් අත මට කියා එවන්නැ”යි කී ය.</verse>
				<verse number="37">මෙසේ දාවිත්ගේ මිත්‍ර වූ හූෂයි නුවරට පිවිසෙත්දී අබ්සලොම් ද ජෙරුසලමට ඇතුළු විය.</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">දාවිත් කඳු මුදුනෙන් මඳක් ඔබ්බට ගිය විට, මෙපිබොෂෙත්ගේ වැඩකාරයා වන ශීබා, ඇඳුම් දැමූ කොටළුවන් දෙදෙනෙකු ද උන් පිට පටවන ලද රොටි දෙසියයක් ද වියළි මිදි පල පොකුරු සියයක් ද වෙනත් පලතුරු වලු සියයක් ද මුද්‍රික පාන භාජනයක් ද ඇති ව ඔහුගේ පෙරමඟට ආවේ ය.</verse>
				<verse number="2">“මේවා මොනවාට දැ”යි රජ ශීබාගෙන් ඇසී ය. ශීබා ද, “කොටළුවන්, රජ්ජුරුවන්ගේ පවුලේ අයට නැඟී යන පිණිස ය; රොටි හා පලතුරු තරුණයන්ට කන්නටත්, මුද්‍රික පානය පාළුකරයේ දී වෙහෙසෙන්නන්ට බොන්නටත් ය”යි පිළිතුරු දුන්නේ ය.</verse>
				<verse number="3">එවිට රජ, “ඔබේ ස්වාමියාගේ පුත්‍රයා කොහේ දැ”යි ඇසුවේ ය. ශීබා පිළිතුරු දෙමින්, “බලන්න, ඔහු ජෙරුසලමේ නැවතී සිටියි; මන්ද, ‘ඉශ්රායෙල් වංශය අද මාගේ පියාගේ රාජ්‍යය මට දෙනු ඇත’ කියා ඔහු කීවේ ය”යි රජුට පිළිතුරු දුන්නේ ය.</verse>
				<verse number="4">එවිට රජ, “බලන්න, මෙපිබොෂෙත්ට අයිති සියල්ල ඔබට අයිති වේවා”යි ශීබාට පැවසී ය. ශීබා ද, “මාගේ ස්වාමීන් වන රජතුමනි, මාගේ ගරු බුහුමන් පිළිගත මැනව; ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබේවා”යි කී ය.</verse>
				<verse number="5">දාවිත් බහුරීම් නගරයට පැමිණි කල, සාවුල්ගේ කුල පරම්පරාවට අයිති වූ ගේරාගේ පුත් ෂිමෙයි නම් මිනිසෙක් එතැනින් පිටත් වී, දෙස් කිය කියා යමින්,</verse>
				<verse number="6">දාවිත්ටත්, දාවිත් රජුගේ සියලු සේවකයන්ටත් ගල් ගැසී ය. සියලු සෙනඟ ද සියලු බලවන්තයෝ ද දාවිත්ගේ දකුණු පසෙහි ද වම් පසෙහි ද සිටියෝ ය.</verse>
				<verse number="7">ෂිමෙයි දෙස් තබමින්, “මිනීමරුව, දුර්ජනය, පලා යව, පලා යව.</verse>
				<verse number="8">සාවුල් වෙනුවට රජ වූ ඔබ පිට, සමිඳාණන් වහන්සේ සාවුල්ගේ පවුලේ සියල්ලන්ගේ ලේ වැගිරීමේ දුර්විපාකය පමුණුවා, ඔබේ පුත් අබ්සලොම්ට රජකම භාර දුන් සේක. ඔන්න, ඔබ විපත්තියට අසු වී සිටින්නෙහි ය. මන්ද, ඔබ මිනීමරුවෙක් ය”යි රජුට කී ය.</verse>
				<verse number="9">එවිට ශෙරුයාගේ පුත් අබිෂයි කතා කොට, “මෙවැනි බලු කුණක්, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට දෙස් කියන්නේ මන් ද? ගොස් ඔහුගේ හිස ගසා දමන්නට මට අවසර ලැබේවා”යි කී ය.</verse>
				<verse number="10">රජ ද පිළිතුරු දෙමින්, “ශෙරුයාගේ පුත්‍රයෙනි, මෙය මට වත්, ඔබට වත් අයිති වැඩක් නො‍වේ. ඔහු දෙස් කීවා වේ! ‘දාවිත්ට දෙස් කියාපන්නැ’යි ඔහුට කීවේ සමිඳාණන් වහන්සේ නම්, ‘ඔබ මෙසේ කෙළේ මන්දැ’යි කියන්නට පුළුවන් කවරෙකුට දැ”යි ඇසී ය.</verse>
				<verse number="11">තවද, දාවිත් රජ අබිෂයිටත්, තමාගේ සියලු සේවකයන්ටත් කතා කොට, “බලන්න, මට දාව උපන් මාගේ ම පුත්‍රයා මා නසන්නට සොයන්නේ නම්, ඊට කොපමණ වැඩියෙන් මේ බෙන්ජමින් ජාතිකයාට දැන් එසේ කරන්නට බැරි ද? ඔහු නිකම් සිටියා වේ, දෙස් කීවා වේ; මන්ද, එලෙස කරන්නට සමිඳාණන් වහන්සේ වදාළ සේක.</verse>
				<verse number="12">සමහර විට මට කරන ලද අයුක්තිය දෙස සමිඳාණන් වහන්සේ බලා, අද දවසේ ඔහුගේ දෙස් කීම වෙනුවට මට යහපත කරනු ඇතැ”යි කී ය.</verse>
				<verse number="13">මෙසේ දාවිත් හා ඔහුගේ මිනිසුන් මාර්ගයේ යද්දී, ෂිමෙයි ඔහුට ඉදිරිපිටින් කන්දේ පැත්තකින් යනුයේ, දෙස් කියමින් ද ඔහුට ගල් ගසමින් ද පස් විසි කරමින් ද ගියේ ය.</verse>
				<verse number="14">රජ ද තමා ළඟ සිටි සියලු සෙනඟ ද වෙහෙස ව ජොර්දාන් ගඟ ළඟට අවුත් එහි විඩා සංසිඳුවා ගත්තෝ ය.</verse>
				<verse number="15">අබ්සලොම් ද ඉශ්රායෙල් ජාතික සියලු සෙනඟ ද ඔහු සමඟ අහිතොපෙල් ද ජෙරුසලමට ආවෝ ය.</verse>
				<verse number="16">තවද, දාවිත්ගේ මිතුරා වන අර්කීය ජාතික හූෂයි අබ්සලොම් ළඟට පැමිණි විට, “රජු සැරදේ වා!, සැරදේ වා!”යි කීවේ ය.</verse>
				<verse number="17">අබ්සලොම් ද, “ඔබේ මිතුරා කෙරෙහි ඇති ඔබේ කරුණාව කුමක් ද? ඔබේ මිතුරා සමඟ නො‍ගියේ මන්දැ”යි හූෂයිගෙන් ඇසී ය.</verse>
				<verse number="18">හූෂයි ද, “එසේ නො‍වේ; සමිඳාණන් වහන්සේ ද මේ සෙනඟ ද සියලු ඉශ්රායෙල් මනුෂ්‍යයන් ද විසින් තෝරාගන්නා ලද තැනැත්තාට එකතු ව මම ඔහු සමඟ සිටිමි.</verse>
				<verse number="19">ඇරත්, මා සේවය කළ යුත්තේ කවරෙකුට ද? ඔහුගේ පුත්‍රයාට නො‍වේ ද? මම ඔබගේ පියාණන් ඉදිරියෙහි සේවය කළ පරිදි, ඔබට සේවය කරන්නෙමි”යි අබ්සලොම්ට කීවේ ය.</verse>
				<verse number="20">එවිට අබ්සලොම් අහිතොපෙල්ට කතා කොට, “අප කුමක් කටයුතු දැ යි සම්මන්ත්‍රණය කොට කියන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="21">අහිතොපෙල් අබ්සලොම්ට පිළිතුරු දෙමින්, “ඔබේ පියාණන්ගේ ගෙදර ප්‍රවේසම් කරන පිණිස සිටුවා ගිය ඔහුගේ උපභාර්යාවන් වෙත පිවිසෙන්න; එවිට සියලු ඉශ්රායෙල්වරු ඔබේ පියාණන්ට ඔබ පිළිකුලක් ව සිටින බව අසන්නෝ ය. එකල්හි ඔබ සමඟ සිටින සියල්ලෝ ශක්තිසම්පන්න වන්නෝ ය”යි කී ය.</verse>
				<verse number="22">මෙසේ ඔව්හු ගෙය උඩ අබ්සලොම්ට කූඩාරමක් සෑදුවෝ ය. අබ්සලොම් ද සියලු ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි තමාගේ පියාගේ උපභාර්යාවන් වෙත පිවිසුණේ ය.</verse>
				<verse number="23">ඒ කාලයේ දී මිනිසකු දෙවියන් වහන්සේගේ පණිවුඩය සොයන ලෙස, ඔව්හු අහිතොපෙල්ගේ අවවාදය සෙව්වෝ ය. අහිතොපෙල්ගේ අවවාදය දාවිත් හා අබ්සලොම් සැලකුවේ එයාකාරයෙන් ය.</verse>
			</chapter>
			<chapter number="17">
				<verse number="1">අහිතොපෙල් අබ්සලොම්ට කතා කොට, ‘මිනිසුන් දොළො‍ස්දහසක් තෝරාගෙන, අද රාත්‍රියේ පිටත් ව, දාවිත් පස්සේ ලුහුබැඳ යන්නට මට අවසර ලැබේවා.</verse>
				<verse number="2">ඔහු වෙහෙස ව අධෛර්ය ව සිටිය දී මම ඔහුට විරුද්ධ ව ගොස් ඔහු බිය ගන්වන්නෙමි. එවිට ඔහු සමඟ සිටින මුළු සෙනඟ පලා යනු ඇත. මම රජුට පමණක් පහර දෙමි.</verse>
				<verse number="3">මනාලියක සිය සැමියා වෙත ගෙනෙනු ලබන පරිදි මම මුළු සෙනඟ ඔබ වෙත හරවා ගෙනෙන්නෙමි. ඔබ සොයන්නේ එක් කෙනෙකු මරන්නට ය; සෙසු අය සුරැකි ව සිටිනු ඇතැ”යි කීවේ ය.</verse>
				<verse number="4">අබ්සලොම් ද මුළු ඉශ්රායෙල්හි සියලු ප්‍රජා මූලිකයෝ ද ඒ කීමට ප්‍රසන්න වූ හ.</verse>
				<verse number="5">එවිට අබ්සලොම්, “දැන් අර්කීය ජාතික හූෂයිටත් අඬගසන්න; ඔහු කියන දේත් අසමු”යි කීවේ ය.</verse>
				<verse number="6">හූෂයි අබ්සලොම් වෙත ආ කල්හි අබ්සලොම් ඔහුට කතා කොට, අහිතොපෙල් කී සියල්ල ඔහුට කියා, “අහිතොපෙල්ගේ කීම ලෙස අපි කරමු ද? එසේ නැත්නම් ඔබ සිතන්නේ කුමක් දැ”යි ඇසී ය.</verse>
				<verse number="7">හූෂයි අබ්සලොම්ට කතා කොට, “අහිතොපෙල් මේ වතාවේ දී දුන් අවවාදය නම් හොඳ නැතැ”යි කීවේ ය.</verse>
				<verse number="8">හූෂයි තවදුරටත් කතා කරමින් මෙසේ කීවේ ය: “ඔබේ පියා හා ඔහුගේ මිනිසුන් බලවන්තයන් බවත්, වනයේ පැටවුන් නැති වූ වැලහින්නක මෙන් කෝප වී සිටින බවත් ඔබ දන්නෙහි ය. ඔබේ පියා යුද්ධයෙහි දක්ෂයෙකි. ඔහු රාත්‍රියේ සෙනඟ සමඟ නවතින්නේ නැත.</verse>
				<verse number="9">දැන් වුව ද ඔහු ගුහාවක හෝ වෙන තැනක හෝ සැඟවී ඇත. තවද, මුල් පහර දීමේ දී ඔවුන්ගෙන් සමහර දෙනෙකු මිය ගිය විට එය අසන කවුරුන් නමුත්, ‘අබ්සලොම් අනුව යන සෙනඟ අතරෙහි මහා ඝාතනයක් සිදු වී තිබේ ය’යි කියනු ඇත.</verse>
				<verse number="10">එවිට සිංහයකුගේ සිත මෙන් සිතක් ඇති බලවතා පවා සහමුලින් ම මලානික වනු ඇත. මන්ද, ඔබේ පියා බලවන්තයෙකු බවත්, ඔහු සමඟ සිටින අය වික්‍රමාන්විත මිනිසුන් බවත් සියලු ඉශ්රායෙල්වරු දනිති.</verse>
				<verse number="11">ඒ නිසා මා ඔබට දෙන අවවාදය නම් මෙය යි. දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා, සිටින, ගණනින් මුහුදු වෙරළේ වැලි මෙන් විශාල සංබ්‍යාවක් වන සියලු ඉශ්රායෙල්වරුන් ඔබ වෙත රැස් වන තෙක් සිට, ඔබ ම පෞද්ගලික ලෙස සටනට යන්න.</verse>
				<verse number="12">එසේ ඔහු යම් ස්ථානයක සිටින්නේ ද, අපි එතැනට පැමිණ, මිහි පිට පිනි වැටෙන පරිදි ඔහු කරා පැමිණෙන්නෙමු. එවිට ඔහු වත්, ඔහු සමඟ සිටින මිනිසුන්ගෙන් එකෙක් වත් ඉතිරි නොවන්නෝ ය.</verse>
				<verse number="13">ඔහු යම් හෙයකින් නගරයකට ඇතුල් වී සිටියොත්, සියලු ඉශ්රායෙල්වරුන් ඒ නගරයට කඹ ගෙනවුත් එහි බොරළු කැටයක් වත් ඉතුරු නොවන තුරු අපි ඒ නගරය ගඟට ම ඇද දමන්නෙමු.”</verse>
				<verse number="14">අබ්සලොම් ද සියලු ඉශ්රායෙල් සෙනඟ ද, “අහිතොපෙල්ගේ අවවාදයට වඩා අර්කීය ජාතික හූෂයිගේ අවවාදය හොඳ ය”යි කී හ. සමිඳාණන් වහන්සේ අබ්සලොම් පිට විනාශය පමුණුවන පිණිස, අහිතොපෙල්ගේ හොඳ අවවාදය නිෂ්ප්‍රභා කරන්නට නියම කර තිබුණේ ය.</verse>
				<verse number="15">එකල පූජකයන් වන ශාදොක්ටත්, අබියාතර්ටත් හූෂයි කතා කොට, “අහිතොපෙල් මේ මේ විධියට අබ්සලොම්ටත්, ඉශ්රායෙල්හි ප්‍රජා මූලිකයන්ටත් අවවාද දුන්නේ ය. මම මේ මේ විධියට අවවාද දිනිමි.</verse>
				<verse number="16">එබැවින් දැන් ඉක්මනින් පණිවුඩයක් යවා, ‘රජු ද මුළු සෙනඟ ද නැති නොවන පිණිස, අද රාත්‍රියේ පාළුකරයේ සමභූමිවල නො‍නැවතී, කොහොම නමුත් එගොඩ විය යුතු ය’යි දාවිත් රජුට දන්වන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="17">ජොනතන් හා අහීමයාශ් ඒන්රොගෙල් ස්ථානය ළඟ සිටියෝ ය. වැඩකාරියක් ගොස් සිරිතක් වශයෙන් ඔවුන්ට ආරංචි දැන්වුවා ය. ඔව්හු ගොස් එපවත් රජ්ජුරුවන්ට දැන්වුවෝ ය. මෙසේ කරන ලද්දේ ඒ දෙදෙනා තමන්ගේ නගරය ඇතුළට පිවිසෙනු කිසිවෙකු නො‍දකින පිණිස ය.</verse>
				<verse number="18">එසේ වුව ද, තරුණයෙක් ඔවුන් දැක අබ්සලොම්ට දැන්වී ය. එවිට ඔවුන් දෙදෙන වහා ගොස්, බහුරීම්හි වසන මිනිසෙකුගේ ගෙදරට පැමිණියෝ ය. ඔහුගේ ගෙමිදුලේ ළිඳක් තිබුණේ ය. ඔව්හු එයට බැස්සෝ ය.</verse>
				<verse number="19">ස්ත්‍රිය ද වැස්මක් ගෙන එය ළිං කටේ එළා, ඒ පිට ධාන්‍ය වනා තැබුවා ය. එසේ කෙළේ, කිසිවෙකු එහි ළිඳක් ඇති බව දැන නො‍ගන්න පිණිස ය.</verse>
				<verse number="20">අබ්සලොම්ගේ සේවකයෝ ස්ත්‍රිය වෙත ඒ ගෙදරට අවුත්, “අහීමයාශ් හා ජොනතන් කොතැන දැ”යි ඇසූ හ. ඒ ස්ත්‍රී පිළිතුරු දෙමින්, “ඔව්හු වතුර ඇළෙන් එගොඩ වූවෝ ය”යි කීවා ය. ඒ මනුෂ්‍යයෝ ඔවුන් සොයා සම්බ නො‍වූ බැවින් ජෙරුසලමට පෙරළා ගියෝ ය.</verse>
				<verse number="21">ඔවුන් ගිය පසු, ජොනතන් හා අහීමයාශ් ළිඳෙන් ගොඩට විත්, දාවිත් රජු වෙත ගොස්, එපවත් දන්වමින්, “ඔබට විරුද්ධ ව අහිතොපෙල් මෙසේ අවවාද කළ නිසා පිටත් වී ඉක්මනින් ඇළෙන් එගොඩ වුව මැනවැ”යි ඔහුට කී හ.</verse>
				<verse number="22">එවිට දාවිත් ද ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද පිටත් ව ජොර්දාන් ගඟෙන් එගොඩ වූ හ. එළි වන විට ඔවුන්ගෙන් එක් කෙනෙක් වත් ජොර්දානෙන් එගොඩට නො‍ගොස් ඉතිරි ව සිටියේ නැත.</verse>
				<verse number="23">තමාගේ අවවාදය ලෙස නො‍කරන ලද බව අහිතොපෙල් දැක, තමාගේ කොටළුවා සූදානම් කොට, පිටත් ව සිය නගරයේ තිබුණ ඔහුගේ ගෙදරට ගොස්, පවුලේ කටයුතු ගැන විධි විධාන යොදා එල්ලී මැරුණේ ය. ඔහු තම පියාගේ සොහොන් ගෙයි තැන්පත් කරනු ලැබී ය.</verse>
				<verse number="24">දාවිත් රජ මහනයිම් නගරයට පැමිණියේ ය. අබ්සලොම් ද ඔහු සමඟ සිටි සියලු ඉශ්රායෙල් සෙනඟ ද ජොර්දාන් ගඟෙන් එගොඩට ගියෝ ය.</verse>
				<verse number="25">තවද, අබ්සලොම් ජෝවාබ් වෙනුවට අමාසා සේනාපතියා වශයෙන් පත් කළේ ය. අමාසා වූකලී ඉෂ්මායෙල් ජාතික ඉත්රාගේ පුත්‍රයා ය. ඉත්රාගේ බිරිඳ නාහාෂ්ගේ දුව වන අබිගායිල් ය. තවද, ඈ ජෝවාබ්ගේ මව වන ශෙරුයාගේ සහෝදරී ය.</verse>
				<verse number="26">ඉශ්රායෙල්වරු ද අබ්සලොම් ද ගිලියද් රටෙහි කඳවුරු බැඳගත්තෝ ය.</verse>
				<verse number="27">දාවිත් රජු මහනයිම් නගරයට පැමිණි විට අම්මොන්වරුන්ට අයිති රබ්බාහි නාහාෂ්ගේ පුත් ෂෝබි ද ලෝ-දෙබාර්හි අම්මියෙල්ගේ පුත් මාකීර් ද රොගේලීම්හි ගිලියද් ජාතික බර්ශිල්ලයි ද</verse>
				<verse number="28">යහන්, තළි, මැටි භාජන, කෑමට තිරිඟු, යව පිටි, විලඳ, මෑ, කොල්ලු ඇට, බැදපු මුං,</verse>
				<verse number="29">මී පැණි, කේජු, බැටළුවන් සහ එළ දීකිරි යන මේවා දාවිත්ටත්, ඔහු සමඟ සිටි සෙනඟටත් ගෙනාවෝ ය. ඔවුන් එසේ කෙළේ, “සෙනඟ පාළුකරයේ බඩගිනි ව, වෙහෙස ව, පිපාසිත ව සිටිති”යි දැන සිටි බැවිනි.</verse>
			</chapter>
			<chapter number="18">
				<verse number="1">දාවිත් තමා සමඟ සිටි සෙනඟ ගණන් කොට, ඔවුන් කෙරෙහි සහශ්‍රාධිපතීන් හා ශතාධිපතීන් පත් කෙළේ ය.</verse>
				<verse number="2">තවද, දාවිත් සෙනඟගෙන් තුනෙන් කොටසක් ජෝවාබ් යටතේ ද තුනෙන් කොටසක් ශෙරුයාගේ පුත් ජෝවාබ්ගේ සහෝදර අබිෂයි යටතේ ද තුනෙන් කොටසක් ගිත්තීය ඉත්තයි යටතේ ද පිටත් කර හැරියේ ය. “මමත් ඔබ සමඟ යමි”යි දාවිත් රජ සෙනඟට කී ය.</verse>
				<verse number="3">එහෙත්, සෙනඟ කතා කරමින්, “ඔබ නො‍යා යුතු ය; මන්ද, අප පලා ගියත් ඔවුන් අප සලකන්නේ නැත; අපෙන් දෙකෙන් කොටසක් මැරුණත් අප ගැන සලකන්නේ නැත; එහෙත්, ඔබ අපෙන් දසදහසක් දෙනෙකු හා සමාන ය. එබැවින් අපට උපකාර කරන්නට සූදානම් ව ඔබ නගරයේ සිටියොත් මැනවැ”යි කීවෝ ය.</verse>
				<verse number="4">“ඔබ යහපතැ යි සිතන දේ මම කරමි”යි රජ ඔවුන්ට කී ය. රජු දොරටුවේ පැත්තකින් සිටිය දී සියලු සෙනඟ සියය සියය බැගින් ද දහස දහස බැගින් ද පිටත් ව ගියෝ ය.</verse>
				<verse number="5">රජ ජෝවාබ්ට ද අබිෂයිට ද ඉත්තයිට ද කතා කොට, “මා නිසා ඒ තරුණ අබ්සලොම්ට කරුණාවෙන් සලකන්නැ”යි අණ කෙළේ ය. රජ අබ්සලොම් ගැන සියලු අධිපතීන්ට එසේ අණ කළ විට මුළු සෙනඟට එය ඇසුණේ ය.</verse>
				<verse number="6">මෙසේ සෙනඟ ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව පිටත් ව ගියෝ ය. සටන එප්‍රායිම් වනයේ දී සිදු විය.</verse>
				<verse number="7">එතැන දී ඉශ්රායෙල් සෙනඟ දාවිත්ගේ සේවකයන්ට පරාජය වූවෝ ය. එදා මහා ඝාතනයක් සිදු වී මිනිස්සු විසිදහසක් මළහ.</verse>
				<verse number="8">යුද්ධය රට මුළුල්ලේ පැතිර ගොස්, එදා කඩුවෙන් විනාශ වූ ගණනට වඩා විශාල සෙනඟක් වනයෙන් විනාශ වූ හ.</verse>
				<verse number="9">අබ්සලොම් තම අශ්වතරයා පිට නැඟී යද්දී, දාවිත්ගේ සේවකයන්ට මුණ ගැසුණේ ය. අශ්වතරයා මහත් ආලෝන ගසක විශාල අතු යටින් යද්දී ඔහුගේ හිස ආලෝන ගසේ අතුවල හිර වී, ඔහු අහසටත්, පොළවටත් අතරේ එල්ලී සිටියේ ය. ඔහු නැඟී සිටි අශ්වතරයා යන්නට ගියේ ය.</verse>
				<verse number="10">එක්තරා මිනිසෙක් ඒ දැක, ජෝවාබ්ට ඒ බව දන්වමින්, “අබ්සලොම් ආලෝන ගසක එල්ලී සිටිනු දිටිමි”යි කීවේ ය.</verse>
				<verse number="11">ජෝවාබ් එපවත් තමාට කී මිනිසාට කතා කොට, “ඔබ ඔහු දුටුවෙහි ද? එසේ නම් ඔහු එතැන ම මරා බිමට නො‍දැමුවේ මන් ද? ඔබ එසේ කෙළෙහි නම්, රිදී දසයක් ද ඉඟ පටියක් ද මා ඔබට දෙන්නට තිබුණේ ය”යි කීවේ ය.</verse>
				<verse number="12">ඒ මිනිසා පිළිතුරු දෙමින්, “මාගේ අත්වල ඔබ රිදී කාසි දහසක් තැබුවත්, රජුගේ පුත්‍රයාට විරුද්ධ ව මාගේ අත මා ඔසවන්නේ නැත. මන්ද, ‘කිසිවෙකු තරුණ අබ්සලොම්ට අත නො‍ගසන ලෙස වග බලාගන්න’ කියා අප අසාගෙන සිටිය දී රජ්ජුරුවෝ ඔබටත්, අබිෂයිටත්, ඉත්තයිටත් අණ කළහ.</verse>
				<verse number="13">එසේ හෙයින් මම ඔහුගේ ජීවිතයට විරුද්ධ ව ද්‍රෝහිකම් කෙළෙම් නම්, ඔබ ම මට විරුද්ධ ව සිටිනු ඇත; මන්ද, කිසි දෙයක් රජුගෙන් සැඟවී නැතැ”යි කී ය.</verse>
				<verse number="14">එවිට ජෝවාබ්, “මට මෙසේ ඔබ සමඟ පමා වෙමින් සිටිය නො‍හැක” කියා, හෙල්ල තුනක් අතින් ගෙන, අබ්සලොම් ආලෝන ගසේ පණපිටින් එල්ලී සිටිද්දී ම, ඔහුගේ හදවතට ඇන්නේ ය.</verse>
				<verse number="15">ජෝවාබ්ගේ ආයුධ රැගත්, මෙහෙකරුවෝ දසදෙනෙක් වටකරින් සිට අබ්සලොම්ට පහර දී ඔහු මැරුවෝ ය.</verse>
				<verse number="16">ජෝවාබ් හොරණෑව පිම්බේ ය. එවිට සෙනඟ ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ යෑම අත්හැර පෙරළා ආවෝ ය. එසේ කෙළේ, ජෝවාබ් සෙනඟ නැවැත්වූ බැවිනි.</verse>
				<verse number="17">ඔව්හු අබ්සලොම් රැගෙන වනයේ තිබුණ මහ වළක හෙළා ඔහු පිට ඉතා මහත් ගල් ගොඩක් නැඟුවෝ ය. සියලු ඉශ්රායෙල්වරු ද තම තමන්ගේ කූඩාරම්වලට පලාගියෝ ය.</verse>
				<verse number="18">අබ්සලොම් ජීවත් ව සිටිය දී, “මාගේ නාමය සිහිපත් කරවන්නට මට පුත්‍රයෙක් නැතැ”යි රජුගේ මිටියාවතේ තිබෙන කණුව තමා සිහි වීම උදෙසා පිහිටුවා, ඊට තමාගේ නම තැබුවේ ය. අද දක්වා ඊට ‘අබ්සලොම් ටැඹ’ යයි කියනු ලැබේ.</verse>
				<verse number="19">එවිට ශාදොක්ගේ පුත් අහීමයාශ් කතා කොට, “සමිඳාණන් වහන්සේ රජ්ජුරුවන් උදෙසා ඔහුගේ සතුරන්ගෙන් පළිගත් බව රජුට දන්වන පිණිස දුවන්නට මට අවසර ලැබේවා”යි කීවේ ය.</verse>
				<verse number="20">ජෝවාබ් ද, “අද ඔබ ආරංචි ගෙන නො‍යන්න. වෙන දවසක ඔබට ආරංචි ගෙන ගිය හැකි ය. අද රජුගේ පුත්‍රයා මැරුණු නිසා අද ම ආරංචිය ගෙන නො‍යන්නැ”යි ඔහුට කීවේ ය.</verse>
				<verse number="21">එවිට ජෝවාබ්, “ඔබ ගොස් දුටු දේ රජුට දන්වන්නැ”යි කුෂීය ජාතිකයාට කීවේ ය. ඔහු ජෝවාබ්ට වැඳ දිව්වේ ය.</verse>
				<verse number="22">එවිට ශාදොක්ගේ පුත් අහීමයාශ් යළිත් ජෝවාබ්ට කතා කොට, “කොහොම නුමුත්, මටත් ඒ කුෂීය ජාතිකයා පස්සේ දුවන්නට අවසර දුන මැනවැ”යි කීවේ ය. ජෝවාබ් ද, “මාගේ පුත්‍රය, ඔබ දුවන්නේ මන් ද? ඔබ ගෙනයන ආරංචියට ඔබට විපාකයක් ලැබෙන්නේ නැතැ”යි කීවේ ය.</verse>
				<verse number="23">එහෙත් ඔහු, “කුමක් වෙතත් මම දුවමි”යි කීවේ ය. ජෝවාබ් ද, “එසේ නම් දුවන්නැ”යි ඔහුට කීවේ ය. එවිට අහීමයාශ් සමභූමියේ මාවතින් දුව ගොස් කුෂීය ජාතිකයා පසු කර ගියේ ය.</verse>
				<verse number="24">දාවිත් වාසල් දොරටු දෙක අතර වාඩි වී සිටියේ ය. මුරකාරයා පවුරේ දොරටුව උඩ තිබුණ පියස්සට ගියේ ය. ඔහු හිස ඔසවා බැලූ විට, මිනිසෙකු තනියම දුවගෙන එනු දුටුවේ ය.</verse>
				<verse number="25">මුරකාරයා මොරගසා එපවත් රජුට කී ය. රජ කතා කොට, “ඔහු තනියම එන්නේ නම්, ආරංචි ගෙනෙන්නේ ය”යි කී ය. ඔහු ඉක්මනට අවුත් ළං විය.</verse>
				<verse number="26">මුරකාරයා තව මිනිසෙකු දුව එනු දැක, දොරටු පාලයාට අඬගසා, “තව මිනිසෙක් තනියම දුව එන්නේ ය”යි කී ය. එවිට රජ, “ඔහුත් ආරංචි ගෙනෙන්නේ ය”යි කී ය.</verse>
				<verse number="27">මුරකාරයා ද පළමු වන මිනිසාගේ දිවීම ශාදොක්ගේ පුත් අහීමයාශ්ගේ දිවීම හා සමාන බව මට පෙනේ ය”යි කීවේ ය. රජ ද, “ඔහු යහපත් මිනිසෙකි. යහපත් ආරංචි ඇතිව එන්නේ ය”යි කී ය.</verse>
				<verse number="28">අහීමයාශ් මොරගසා, “සියල්ල යහපතැ”යි රජුට කියා මුණින්තළා වී වැඳ කතා කොට, “මාගේ රජ්ජුරුවන්ට විරුද්ධ ව තමන්ගේ අත් එසෙවූ මිනිසුන් පාවා දුන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා”යි කීවේ ය.</verse>
				<verse number="29">“තරුණ අබ්සලොම් සුව සේ සිටින්නේ දැ”යි රජ ඇසී ය. එවිට අහීමයාශ් පිළිතුරු දෙමින්, “ජෝවාබ් විසින් රජ්ජුරුවන්ගේ මෙහෙකරුවාත්, ඔබේ මෙහෙකරු වන මාත් එවනු ලබන විට මහා කෝලාහලයක් දිටිමි; එහෙත්, එය කිමෙක් දැ යි නො‍දන්නෙමි”යි පිළිතුරු දුන්නේ ය.</verse>
				<verse number="30">රජ ද, “පැත්තකට වී මෙහි සිටින්නැ”යි ඔහුට කී ය. ඔහු පැත්තකට වී සිටියේ ය.</verse>
				<verse number="31">එවිට කුෂීය ජාතිකයා ආවේ ය. ඔහු කතා කොට, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට ආරංචි තිබේ. මන්ද, ඔබට විරුද්ධ ව නැඟී ආ සියල්ලන්ගෙන් සමිඳාණන් වහන්සේ අද ඔබ උදෙසා පළිගත් සේකැ”යි කීවේ ය.</verse>
				<verse number="32">එවිට රජ, “තරුණ අබ්සලොම් සුව සේ සිටී දැ”යි කුෂීය ජාතිකයාගෙන් ඇසී ය. කුෂීය ජාතිකයා ද, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ගේ සතුරෝ ද ඔබට අනතුරු කරන්නට ඔබට විරුද්ධ ව නැඟී සිටින සියල්ලෝ ද ඒ තරුණයා මෙන් වෙත්වා”යි උත්තර දුන්නේ ය.</verse>
				<verse number="33">එවිට රජ අතිශයෙන් කම්පා වී දොරටුවට ඉහළින් තිබුණු උඩුමහලට ගොස් ඇඬුවේ ය. ඔහු අඬ අඬා, “අනේ! මාගේ පුත් අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත් අබ්සලොම්! ඔබ වෙනුවට මා මැරුණා නම් යහපත; අහෝ අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත්‍රය”යි කීවේ ය.</verse>
			</chapter>
			<chapter number="19">
				<verse number="1">රජ අබ්සලොම් ගැන අඬා වැලපෙන්නේය කියා ජෝවාබ්ට දන්වන ලද්දේ ය.</verse>
				<verse number="2">රජ සිය පුත්‍රයා ගැන ශෝක වන්නේ යයි එදින ම මුළු ජනයාට සැළ වුණ බැවින් ඒ දවසේ ඇති වූ ජය ගීය විලාප ගීයකට හැරිණි.</verse>
				<verse number="3">මන්ද, යුද්ධයේ දී පලා යන සෙනඟක් ලජ්ජා සහගත ව රහසින් එන සේ ඒ දවසේ දී සෙනඟ රහසින් නගරයට ඇතුළු වුණෝ ය.</verse>
				<verse number="4">රජ තමාගේ මුහුණ වසාගෙන, “අනේ! මාගේ පුත් අබ්සලොම්, අනේ! අබ්සලොම් මාගේ පුත්‍රය, මාගේ පුත්‍රය!” කියා මහා හඬින් හැඬී ය.</verse>
				<verse number="5">ජෝවාබ් රජු වෙත ගෙට ඇතුල් වී කතා කොට, “අද දවසේ දී ඔබේ ජීවිතයත්, ඔබේ පුත්‍රයන්ගේ හා දූවරුන්ගේ ජීවිතත්, ඔබේ භාර්යාවන්ගේ ජීවිතත්, ඔබේ උපභාර්යාවන්ගේ ජීවිතත්, ගැළෙව් ඔබේ සියලු සේවකයන් අද ඔබ ලජ්ජාවට පැමිණෙවුවෙහි ය.</verse>
				<verse number="6">එසේ වූයේ, ඔබට වෛර කරන්නන්ට ඔබ ප්‍රේම කරන නිසාත්, ඔබට ප්‍රේම කරන්නන්ට ඔබ වෛර කරන නිසාත් ය. අධිපතීන්ගෙන් වත්, සේවකයන්ගෙන් වත් ඔබට කමක් නැති බව අද ඔබ පෙන්නුවෙහි ය. අබ්සලොම් ඉතිරි ව අපි සියල්ලෝ ම මැරුණෙමු නම්, ඔබ ඉතා ප්‍රසන්න වන බව අද මට පැහැදිලි විය.</verse>
				<verse number="7">එබැවින් දැන් නැඟිට, පිටතට ගොස් ඔබේ සේවකයන්ට කරුණාවෙන් කතා කළ මැනව. ඔබ පිටතට නො‍ගියොත්, ඔබ සමඟ කිසිවෙකු නො‍සිටින බවට සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි. එසේ වූවොත්, ඔබේ බාල වයසේ පටන් අද දක්වා ඔබට සිදු වූ සියලු අන්තරාවලට වඩා එය ඔබට දරුණු වනු ඇතැ”යි කී ය.</verse>
				<verse number="8">එවිට රජ නැඟිට දොරටුව ළඟ හිඳ ගත්තේ ය. “රජ දොරටුව ළඟ හිඳගෙන සිටින්නේ ය”යි මුළු සෙනඟට දන්වන ලද්දේ ය. මුළු සෙනඟ ද රජු ඉදිරියට පැමිණියෝ ය. ඉශ්රායෙල්වරු තම තමන්ගේ කූඩාරම්වලට පලා ගොස් සිටියෝ ය.</verse>
				<verse number="9">සියලු ඉශ්රායෙල් ගෝත්‍රවල සෙනඟ විවාද කරමින්, “රජ්ජුරුවෝ අපේ සතුරන් අතින් අප මුදා, පිලිස්තිවරුන්ගේ අතින් ද අප ගළවාගත්හ. එහෙත්, දැන් ඔහු අබ්සලොම් නිසා රටින් පලා ගොස් ඇත.</verse>
				<verse number="10">අප විසින් අප කෙරෙහි අභිෂේක කරන ලද අබ්සලොම් දැන් යුද්ධයේ දී මැරුණේ ය. ඒ නිසා රජ්ජුරුවන් නැවත ගෙන්වීම ගැන ඔබ හැම කිසිවක් නො‍කියා සිටින්නේ මන්දැ”යි ඇසූ හ.</verse>
				<verse number="11">එවිට දාවිත් රජ පූජක වන ශාදොක්ටත්, අබියාතර්ටත් මෙසේ කියා යැවී ය. “ඔබ ජුදාහි ප්‍රජා මූලිකයන්ට කතා කොට, ‘ඉශ්රායෙල් සෙනඟ කියමින් සිටි දේ රජ්ජුරුවන්ට සැළ විය. එබැවින් රජ්ජුරුවන් සිය නිවෙසට ගෙන්වන පිණිස ඔබ අන්තිමයන් වන්නේ මන්දැ”යි අසන්න.</verse>
				<verse number="12">‘ඔබ හැම මාගේ සහෝදරයෝ ය; මාගේ ලේ නෑයෝ ය; එබැවින් රජ්ජුරුවන් නැවත ගෙන්වා ගන්නට ඔබ අන්තිමයන් වන්නේ මන්දැ’යි අසන්න.</verse>
				<verse number="13">තවද, අමාසාට කතා කොට, ‘ඔබ මාගේ ලේ නෑයෙක් නො‍වේ ද? අද සිට ජෝවාබ් වෙනුවට මම නුඹ සේනාපතියා වශයෙන් පත් කරමි. එසේ නො‍කළො‍ත් දෙවියන් වහන්සේ මට දරුණු ලෙස දඬුවම් කරන සේක්වා’යි කියන්නැ”යි කියා යැව්වේ ය.</verse>
				<verse number="14">මෙසේ දාවිත් සියලු ජුදා මිනිසුන්ගේ සිත් එක් කෙනෙකුගේ සිත මෙන් දිනාගත්තේ ය. සෙනඟ කතා කරමින්, “ඔබේ සියලු සේවකයන් සමඟ හැරී අව මැනව”යි කියා යැව්වෝ ය.</verse>
				<verse number="15">එවිට රජ හැරී ජොර්දාන් ළඟට පැමිණියේ ය. ජුදා වාසීන් ද ජොර්දාන් ගඟෙන් මෙගොඩට රජු කැඳවාගෙන එන පිණිස රජුගේ පෙරමඟට යන්නට ගිල්ගාල් නගරයට පැමිණියෝ ය.</verse>
				<verse number="16">එකල බහුරීම් වැසියෙකු වූ බෙන්ජමින් ගෝත්‍රයට අයිති ගේරාගේ පුත් ෂිමෙයි කඩිනමින් ජුදා මිනිසුන් සමඟ දාවිත් රජුගේ පෙරමඟට බැස ආවේ ය.</verse>
				<verse number="17">ඔහු සමඟ බෙන්ජමින් ගෝත්‍රයේ මිනිස්සු දහසක් ද සාවුල්ගේ වංශයේ සේවකයෙකු වූ ශීබා ද ඔහුගේ පුත්‍රයෝ පසළො‍ස්දෙනා ද ඔහුගේ වැඩකාරයෝ විසිදෙනා ද සිටියෝ ය. ඔව්හු රජු බලා සිටිය දී ජොර්දාන් මැදින් ගියෝ ය.</verse>
				<verse number="18">රජු ද ඔහුගේ ගෙයිවැසි සියල්ලන් ද මෙගොඩට ගෙනෙන පිණිසත්, රජුගේ කැමැත්තක් කරන පිණිසත්, පාරුවක් ගඟින් එගොඩට ගියේ ය. ගේරාගේ පුත් ෂිමෙයි ජොර්දාන් ගඟෙන් එගොඩ වූ කල,</verse>
				<verse number="19">රජු ඉදිරියෙහි වැටී, කතා කොට, “රජතුමනි, ඔබතුමා ජෙරුසලම අත්හැර ගිය දවසේ දී ඔබේ දාසයා හිතුවක්කාරකමින් කළ දේ සිහි නො‍කළ මැනව; එය මට විරුද්ධ දෙයක් ලෙස නො‍සැලකුව මැනව; එය සිතට නො‍ගත මැනව.</verse>
				<verse number="20">මන්ද, ඔබේ දාසයා වන මා පව් කළ බව මම දනිමි. එබැවින් ජෝසෙප්ගේ මුළු වංශය අතරෙන්, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ගේ පෙරමඟට බැස එන්නට මම පළමු කොට ආවෙමි”යි කී ය.</verse>
				<verse number="21">එහෙත්, ශෙරුයාගේ පුත් අබිෂයි පිළිතුරු දෙමින්, “ෂිමෙයි සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තාට දෙස් කී බැවින් ඔහු මරනු ලැබිය යුතු නො‍වේ දැ”යි ඇසී ය.</verse>
				<verse number="22">දාවිත් පිළිතුරු දෙමින්, “ශෙරුයාගේ පුත්‍රයෙනි, ඔබ හැම අද මට එදිරි වීමට ඔබත් මාත් අතර තිබෙන සම්බන්ධකම කුමක් ද? අද ඉශ්රායෙල්වරුන්ගෙන් කිසිවෙකු මරණයට පත් කිරීම යුතු ද? අද මා ඉශ්රායෙල් කෙරෙහි රජු ව සිටින බව මම නො‍දනිම් දැ”යි කී ය.</verse>
				<verse number="23">තවද, “ඔබ නො‍නසින්නෙහි ය”යි රජ ෂිමෙයිට කියා දිවුළේ ය.</verse>
				<verse number="24">සාවුල්ගේ පුත් මෙපිබොෂෙත් දාවිත්ගේ පෙරමඟට ආවේ ය. ඔහු රජු ගිය දා සිට සාමදානයෙන් ආපසු පැමිණි දවස දක්වා තමාගේ පාද සේදුවේ වත්, රැවුල සකස් කරගත්තේ වත්, ඇඳුම් සේදුවේ වත් නැත.</verse>
				<verse number="25">තවද, ඔහු රජු සම්බ වන්නට ජෙරුසලමට ආ කල රජ කතා කොට, “මෙපිබොෂෙත් ඔබ මා සමඟ නො‍ගියේ මන්දැ”යි ඔහුගෙන් ඇසී ය.</verse>
				<verse number="26">එවිට ඔහු මෙසේ පිළිතුරු දුන්නේ ය: “මාගේ ස්වාමීන් වන රජතුමනි, මාගේ වැඩකාරයා මා රැවටුවේ ය. මන්ද, ඔබ මෙහෙකරුවා කොර බැවින්, ‘කොටළුවෙකු සූදානම් කරගෙන ඌ පිට නැඟී, රජ්ජුරුවන් සමඟ යමි’යි ඔබේ මෙහෙකරුවා වන මම කීවෙමි.</verse>
				<verse number="27">මාගේ වැඩකාරයා මාගේ ස්වාමීන් වන රජුට ඔබේ මෙහෙකරුවා වන මා ගැන කේලාම් කී ය. එහෙත්, මාගේ ස්වාමීන් වන රජතුමා දෙවියන් වහන්සේගේ දූතයෙකු වැනි ය. ඔබට යහපත යයි පෙනෙන දේ කළ මැනව.</verse>
				<verse number="28">මන්ද, මාගේ පියාගේ මුළු වංශය මාගේ ස්වාමීන් වන රජු ඉදිරියෙහි මරණයට සුදුස්සෝ වූ හ. එසේ වී නමුත්, ඔබේ ම කෑම මේසයෙන් එකට කෑම කන අය අතරෙහි ඔබ, ඔබේ මෙහෙකරුවා වන මට තැනක් දුන්නේ ය. ඒ නිසා රජ්ජුරුවන්ට තවත් කන්නලව් කරන්නට මට අයිතියක් ඇද්දැ”යි කී ය.</verse>
				<verse number="29">රජ පිළිතුරු දෙමින්, “ඔබේ කාරණාව ගැන තවත් කතා කරන්නේ කුමට ද? ඔබ ශීබා සමඟ දේශය බෙදාගන්න ලෙස මම තීරණය කරමි”යි ඔහුට කී ය.</verse>
				<verse number="30">මෙපිබොෂෙත් පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් තමාගේ ගෙදරට සාමදානයෙන් ආ බැවින්, සියල්ල ම වුව ද ශීබා ගත්තා වේ ය”යි රජුට කීවේ ය.</verse>
				<verse number="31">තවද, ගිලියද් වැසියෙකු වූ බර්ශිල්ලයි, රොගේලීම් සිට අවුත්, ජොර්දාන් ගඟෙන් මෙගොඩට රජු ගෙනෙන පිණිස ඔහු සමඟ ජොර්දානෙන් මෙගොඩට ආයේ ය.</verse>
				<verse number="32">බර්ශිල්ලයි අසූ අවුරුද්දක් වයස් වූ මහලු කෙනෙකු ව සිටියේ ය. ඔහු රජු මහනයිම්හි සිටි කල ඔහුට කන බොන දේ සපයා දුන්නේ ය. ඔහු ඉතා පොහොසත් මනුෂ්‍යයෙක් ය.</verse>
				<verse number="33">රජ ද, “මා සමඟ යන්නට එන්න; ජෙරුසලමෙහි දී මම ඔබට ආහාර පාන සපයා දෙන්නෙමි”යි බර්ශිල්ලයිට කී ය.</verse>
				<verse number="34">බර්ශිල්ලයි පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “රජ්ජුරුවන් සමඟ ජෙරුසලමට යන්නට මාගේ ජීවිතයේ තවත් ඉතිරි වී ඇති අවුරුදු ගණන කොපමණ ද?</verse>
				<verse number="35">මම දැනට අසූ අවුරුද්දක් වයස් ගත ව සිටිමි. හොඳ නරක දෙක අතර වෙනස මට දැනේ ද? ඔබේ මෙහෙකරු වන මට කන බොන දේවල රස දැනේ ද? ගායක ගායිකාවන්ගේ මිහිරි කට හඬ අසන්නට පුළුවන් ද? එබැවින් රජුගේ මෙහෙකරුවා වන මා, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට තවත් බරක් වන්නේ කුමට ද?</verse>
				<verse number="36">ඔබේ මෙහෙකරුවා වන මම ජොර්දාන් ගඟෙන් එගොඩ ටික දුරක් යන්නෙමි. රජ්ජුරුවන් එබඳු විපාකයක් මට දෙන්නේ කුමට ද?</verse>
				<verse number="37">මාගේ ම නගරයේ මාගේ පියාණන්ගේත් මාගේ මෑණියන්ගේත් සොහොන් පොළ ළඟ මැරෙන පිණිස ඔබේ මෙහෙකරුවාට හැරී යන්නට අවසර ලැබේවා. එහෙත්, ඔබේ මෙහෙකරුවා වන කිම්හාම් මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් සමඟ එගොඩ ගියා වේ. ඔබට යහපත යයි පෙනෙන හැටියට ඔහුට කළ මැනව.”</verse>
				<verse number="38">රජ පිළිතුරු දෙමින්, “කිම්හාම් මා සමඟ එගොඩ වනු ඇත. ඔබ යහපත් යයි සිතන කවර දෙයක් වුව ද මම ඔහු උදෙසා කරමි. ඔබ මාගෙන් ඉල්ලන සියල්ලත් මම ඔබට ඉටු කර දෙන්නෙමි”යි කීවේ ය.</verse>
				<verse number="39">මුළු සෙනඟ ජොර්දානෙන් මෙගොඩ පැමිණියෝ ය. රජ ද මෙගොඩට පැමිණියේ ය. රජ තෙමේ බර්ශිල්ලයි සිඹගෙන ඔහුට ආශීර්වාද කෙළේ ය. ඔහු තමාගේ ගෙදරට පෙරළා ගියේ ය.</verse>
				<verse number="40">මෙසේ රජ මෙගොඩ වී ගිල්ගාල්ට පැමිණියේ ය. කිම්හාම් ද ඔහු සමඟ ගියේ ය. මුළු ජුදා සෙනඟ ද ඉශ්රායෙල් සෙනඟගෙන් දෙකෙන් කොටසක් ද රජු මෙගොඩට කැඳවාගෙන ආහ.</verse>
				<verse number="41">එවිට සියලු ඉශ්රායෙල් සෙනඟ රජු ළඟට පැමිණ රජුට කතා කොට, “අප සහෝදරයන් වන ජුදා සෙනඟ ඔබ රහසින් අඬගසාගෙන, රජු ද ඔහුගේ ගෙයි වැසියන් ද ඔහු සමඟ දාවිත්ගේ සියලු මිනිසුන් ද ජොර්දාන් ගඟෙන් මෙගොඩට ගෙනාවේ මන්දැ”යි ඇසුවෝ ය.</verse>
				<verse number="42">සියලු ජුදා සෙනඟ ඉශ්රායෙල් සෙනඟට පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන් අපේ කිට්ටු නෑයෙකු නිසා ය; ඔබ හැම මේ කාරණය ගැන කෝප වන්නේ මන් ද? රජුගේ වියදමෙන් අපි කිසිවක් කෑවෙමු ද, නැතහොත් ඔහු කිසි තෑග්ගක් අපට දුන්නේ දැ”යි ඇසුවෝ ය.</verse>
				<verse number="43">ඉශ්රායෙල් සෙනඟ ජුදා සෙනඟට පිළිතුරු දෙමින්, “රජුගෙන් දස කොටසක් අපට තිබේ. දාවිත් රජුගෙනුත් ඔබට වඩා අයිතිකම් අපට ඇත්තේ ය. ඔබ අප සුළු කොට සිතුවේ මන් ද? රජු යළිත් ගෙනෙන්නට පළමුකොට කතා කෙළේ අපි නො‍වෙමු දැ”යි කී හ. එහෙත්, ඉශ්රායෙල් සෙනඟගේ වචනවලට වඩා ජුදා සෙනඟගේ වචන වේගවත් විය.</verse>
			</chapter>
			<chapter number="20">
				<verse number="1">බෙන්ජමින් ජාතිකයෙකු වන බික්‍රිගේ පුත් ෂෙබා නම් දුර්ජන මිනිසෙක් එහි සිටියේ ය. ඔහු හොරණෑව පිඹ, මොරගසා, “දාවිත් සමඟ ගනුදෙනු අපට නැත, ජෙස්සේගේ පුත්‍රයාගෙන් කිසි උරුමයක් අපට නැත; ඉශ්රායෙල්වරුනි, එකිනෙකා තම තමාගේ කූඩාරම්වලට යේවා”යි කී ය.</verse>
				<verse number="2">එවිට සියලු ඉශ්රායෙල් ජනයා දාවිත් අත්හැර, බික්‍රිගේ පුත් ෂෙබා පසුපස ගියෝ ය. එහෙත්, ජොර්දාන් පටන් ජෙරුසලම දක්වා ම ජුදාහි සෙනඟ තමන්ගේ රජුට පක්ෂපාත ව සිටියෝ ය.</verse>
				<verse number="3">දාවිත් ජෙරුසලමෙහි රජ මැදුරට පැමුණුණ විට, එය බලාගැනීමට ඔහු තබා ගිය උපභාර්යාවන් දසදෙනා රැගෙන, ඔවුන් රැකවල් යටතේ තබා ඔවුන්ගේ වුවමනාවන් සපයා දුන්නේ ය. එහෙත්, ඔහු ඔවුන් සමඟ එක් නො‍ වී ය. මෙසේ ඔව්හු මැරෙන දවස දක්වා ම සිරගත ව වැන්දඹුවන් මෙන් සිටියෝ ය.</verse>
				<verse number="4">රජ අමාසාට කතා කොට, “තුන් දවසකින් ජුදා සෙනඟ කැඳවා, ඔවුන් සමඟ ඔබත් මා ඉදිරියේ පෙනී සිටින්නැ”යි කී ය.</verse>
				<verse number="5">මෙසේ අමාසා ජුදා සෙනඟ කැඳවන්නට ගිය නමුත්, ඔහුට නියම කළ කාලයට වඩා ප්‍රමාද විය.</verse>
				<verse number="6">දාවිත් අබිෂයිට කතා කොට, “අබ්සලොම්ට වඩා බික්‍රිගේ පුත් ෂෙබා අපට අනතුරු කරනු ඇත. ඔහු පවුරු ඇති නගර අත් කරගෙන අපෙන් ගැළවී නො‍යන පිණිස, ඔබේ ස්වාමියාගේ සේවකයන් කැඳවාගෙන ඔහු ලුහුබැඳ යන්නැ”යි කී ය.</verse>
				<verse number="7">එවිට ජෝවාබ්ගේ සෙනඟ ද කෙරෙතිවරු ද පෙලෙතිවරු ද සියලු බලවන්තයෝ ද ඔහු පසුපස පිටත් වී ගියහ. බික්‍රිගේ පුත් ෂෙබා ලුහුබැඳ යන පිණිස ඔව්හු ජෙරුසලමෙන් නික්ම ගියහ.</verse>
				<verse number="8">ඔවුන් ගිබියොන්හි තිබෙන මහගල ළඟ සිටිය දී අමාසා ඔවුන් ඉදිරියට පැමිණියේ ය. ජෝවාබ් තමාගේ යුද්ධ ඇඳුම් ඇඳ ඊට උඩින් ඉඟ පටියක් බැඳගෙන සිටියේ ය. එහි කොපුවේ කඩුවක් දමා තිබිණි. ඔහු පිටතට යද්දී කඩුව වැටිණි.</verse>
				<verse number="9">ජෝවාබ් අමාසාට කතා කොට, “මාගේ සහෝදරය, ඔබ සුව සේ සිටින්නෙහි දැ”යි ඔහුට කියමින් ඔහු සිඹගන්නට ඔහුගේ රැවුල දකුණතින් අල්ලාගත්තේ ය.</verse>
				<verse number="10">එහෙත්, අමාසා ජෝවාබ්ගේ අතේ තිබුණු කඩුව ගැන නො‍සැලකුවේ ය. ජෝවාබ් එයින් ඔහුගේ බඩට ඇන්නේ ය. ඔහුගේ අතුණු බිමට ඇද හැළුණේ ය. දෙ වන වරට පහර දීම අවශ්‍ය නො‍ වී ය. මෙසේ අමාසා මළේ ය. ජෝවාබ් ද ඔහුගේ සහෝදර වූ අබිෂයි ද බික්‍රිගේ පුත් ෂෙබා ලුහුබැඳ ගියහ.</verse>
				<verse number="11">ජෝවාබ්ගේ සේවකයන්ගෙන් එක් කෙනෙක් අමාසා ළඟ සිට, “ජෝවාබ්ට හිතවත්, දාවිත්ට පක්ෂපාත කවුරු නමුත් ජෝවාබ් අනුව යත්වා”යි කී ය.</verse>
				<verse number="12">අමාසා වනාහි මහ මාවත මැද තමාගේ ලේ විලේ පෙරළෙමින් සිටියේ ය. ඒ නිසා හැම කෙනෙකු ම නවතින බව ඒ මිනිසාට පෙනී ගියේ ය. අමාසාගේ සිරුර ළඟින් එන සියල්ලන් මෙසේ නවතින බව ඔහු දුටු කල්හි, ඔහු එය මාවතෙන් කෙතට ගෙන ගොස් ඒ පිට රෙද්දක් හෙළුවේ ය.</verse>
				<verse number="13">අමාසාගේ මළකඳ මාවතින් ඉවත් කළ පසු, මුළු සෙනඟ බික්‍රිගේ පුත් ෂෙබා ලුහුබඳින පිණිස ජෝවාබ් පසුපස ගියහ.</verse>
				<verse number="14">ෂෙබා සියලු ඉශ්රායෙල් ගෝත්‍ර මැදින් ගොස් ආබෙල්-බෙත්-මයකා නගරයට පැමුණුණේ ය. බේරීවරු රැස් වී ඔහු පස්සේ ගියෝ ය.</verse>
				<verse number="15">ඔව්හු අවුත් ආබෙල්-බෙත්-මයකා නගරය වටලාගෙන එය ඉදිරිපිට ගොඩැල්ලක් නැඟුවෝ ය. එය පවුර ඉදිරිපිට තිබිණි. ජෝවාබ් සමඟ සිටි මුළු සෙනඟ ද පවුර හෙළා දමන්නට ඊට පහර දුන්හ.</verse>
				<verse number="16">එවිට නැණවත් ස්ත්‍රියක් නගරයේ සිට මොරගසා, “මෙන්න, සවන් දෙන්න, සවන් දෙන්න; මා ජෝවාබ් සමඟ කතා කරන පිණිස, ඔහුට මෙහි එන්නට කියා කිව මැනව”යි කීවා ය.</verse>
				<verse number="17">ඔහු ඈ ළඟට ආ කල ඒ ස්ත්‍රිය, “ඔබ ජෝවාබ් ද” කියා ඇසුවා ය. ඔහු ද, “එසේ ය”යි උත්තර දුන්නේ ය. එවිට ඈ, “ඔබේ මෙහෙකාරී කියන දේට සවන් දුන මැනව”යි ඔහුට කීවා ය. ඔහු ද, “මම සවන් දෙමි”යි කී ය.</verse>
				<verse number="18">එවිට ඈ කතා කොට, “පුරාණ කාලයේ දී ‘දැනුමැතිකම් ලැබීමට ආබෙල්ට යන්නැ’යි කීමක් තිබිණි. ඒ අනුව පැරැන්නෝ ප්‍රශ්න විසඳාගත්හ.</verse>
				<verse number="19">අපේ නගරය, ඉශ්රායෙල්හි ඇති ඉතා සාමකාමී, විශ්වාසදායී නගරයක් බව ප්‍රසිද්ධ ය. ඉශ්රායෙල්හි මවු බිමක් වැනි නගරයක් විනාශ කරන්නට ඔබ උත්සාහ කරන්නෙහි ය. සමිඳාණන් වහන්සේගේ උරුමය ඔබ නාස්ති කරන්නේ කුමක් නිසා දැ”යි ඇසුවා ය.</verse>
				<verse number="20">ජෝවාබ් පිළිතුරු දෙමින්, “නගරය නැති නාස්ති කිරීම ගැන අදහසක් මට කොහෙත් ම නැත.</verse>
				<verse number="21">එසේ කීම අසත්‍යයකි. බික්‍රිගේ පුත් ෂෙබා නම් එප්‍රායිම් කඳු රටේ මිනිසෙකු දාවිත් රජ්ජුරුවන්ට විරුද්ධ ව කැරලි ගසා ඇත. ඔහු පමණක් පාවා දෙන්න. එවිට මම නගරයෙන් අහක් ව යන්නෙමි”යි කී ය. ඒ ස්ත්‍රිය ද, “ඔහුගේ හිස පවුර උඩින් ඔබ වෙත විසි කරනු ලබන්නේ ය”යි ජෝවාබ්ට කීවා ය.</verse>
				<verse number="22">එවිට ඒ ස්ත්‍රිය නගරයට ගොස් ඥානවන්ත ලෙස සෙනඟට කතා කළා ය. සෙනඟ ද බික්‍රිගේ පුත් ෂෙබාගේ හිස ගසා ජෝවාබ් වෙත විසි කළෝ ය. ජෝවාබ් හොරණෑව පිම්ඹේ ය. එවිට ඔව්හු නගරයෙන් පිට වී තම තමන්ගේ කූඩාරම්වලට ගියහ. ජෝවාබ් ද ජෙරුසලමෙහි රජු වෙත හැරී ආවේ ය.</verse>
				<verse number="23">ජෝවාබ් මුළු ඉශ්රායෙල් සේනාවට අධිපතියා ය. ජෙහොයාදාගේ පුත් බෙනායා කෙරෙතිවරුන්ටත්, පෙලෙතිවරුන්ටත් අධිපතියා ය.</verse>
				<verse number="24">අදොරාම් බැල මෙහෙවර භාර ව සිටියේ ය. අහිලුද්ගේ පුත් ජෙහෝෂාපාට් වාර්තාකරු ය.</verse>
				<verse number="25">ෂෙවා වනාහි ලේකම් ය. ශාදොක් හා අබියාතර් පූජකයෝ ය.</verse>
				<verse number="26">ජායිර්හි ඊරාත් දාවිත්ගේ පූජකයා ය.</verse>
			</chapter>
			<chapter number="21">
				<verse number="1">දාවිත් රජුගේ දවස, තුන් අවුරුද්දක් මුළුල්ලේ ම සාගතයක් ඇති විය. ඒ ගැන දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විමසූ විට උන් වහන්සේ පිළිතුරු දෙමින්, “සාගතයට හේතුව, සාවුල් සහ ඔහුගේ පවුලේ අය මිනීමරුවන් නිසාත්, සාවුල් ගිබියොන්වරුන් මැරූ නිසාත් ය”යි වදාළ සේක.</verse>
				<verse number="2">ගිබියොන්වරු ඉශ්රායෙල් ජාතිකයන් නොව, අමෝරිවරුන්ගෙන් ඉතිරි ව සිටි කොට්ඨාශයකි. ඉශ්රායෙල් සෙනඟ ඔවුන් නො‍මරන්නට දිවුරුම් දී තිබුණු නමුත්, සාවුල් ඉශ්රායෙල් සෙනඟටත්, ජුදා සෙනඟටත් ඇති තමාගේ උද්‍යෝගය නිසා ඔවුන් මරන්නට සෙව්වේ ය.</verse>
				<verse number="3">දාවිත් රජ ගිබියොන්වරුන් කැඳවා ඔවුන්ට කතා කොට, “ඔබ උදෙසා මම කුමක් කරම් ද? ඔබ සමිඳාණන් වහන්සේගේ සෙනඟට ආශීර්වාද කරන පිණිස මා වන්දි ගෙවීමක් වශයෙන් කුමක් කළ යුතු දැ”යි ඔවුන්ගෙන් ඇසී ය.</verse>
				<verse number="4">ගිබියොන්වරු පිළිතුරු දෙමින්, “සාවුල්ට සහ ඔහුගේ පවුලට විරුද්ධ ව ඇති අපේ ආරාවුල් රන් රිදීවලින් බේරිය නො‍හැකි ය; තවද, ඉශ්රායෙල්හි කිසිවකු මැරීමට අපට වුවමනාවක් නැතැ”යි කී හ. ඔහු ද, “ඔබ කියන දෙයක් මම ඔබට කර දෙමි”යි කී ය.</verse>
				<verse number="5">ඔව්හු රජුට කතා කොට, “ඉශ්රායෙල්හි කිසි ම තැනක අපට ජීවත් වන්නට නො‍හැකි වන ලෙස සාවුල් අප නැතිනාස්ති කරන්නට සෙව්වේ ය.</verse>
				<verse number="6">ඔහුගේ පුත්‍රයන්ගෙන් සත්දෙනෙකුන් අපට පාවා දුන මැනව. අපි ද සමිඳාණන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ සාවුල් සිටි ගිබියාහි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් එල්ලා තබන්නෙමු”යි කී හ. එවිට රජ “මම ඔවුන් පාවා දෙන්නෙමි”යි කී ය.</verse>
				<verse number="7">එහෙත්, දාවිත් සහ සාවුල්ගේ පුත් ජොනතන් තම තමන් අතර සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කරන ලද දිවුරුම නිසා රජ සාවුල්ගේ පුත්‍ර වන ජොනතන්ගේ පුත් මෙපිබොෂෙත් ඉතුරු කෙළේ ය.</verse>
				<verse number="8">එසේ වුව ද, ඔහු අයාගේ දුව වූ රිශ්පා සාවුල්ට දාව ලැබූ අර්මෝනි සහ මෙපිබොෂෙත් යන පුත්‍රයන් දෙදෙන ද සාවුල්ගේ දුව වූ මීකල් මෙහොලාතිය බර්ශිල්ලයිගේ පුත් අද්‍රියෙල්ට දාව ලැබූ පුත්‍රයන් පස්දෙනා ද ගෙන,</verse>
				<verse number="9">ගිබියොන්වරුන් අතට පාවා දුන්නේ ය. ඔව්හු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කන්දේ ඔවුන් එල්ලා දැමුවෝ ය. මෙසේ ඒ සත්දෙනා එක විට ම වැනසුණෝ ය. ඔවුන් මරනු ලැබුවේ යව කපන්නට පටන්ගන්න කාලයේ මුල් ම දවස්වල දී ය.</verse>
				<verse number="10">එවිට අයාගේ දුව වූ රිශ්පා ගෝණි රෙදි අරගෙන ගොස් පර්වතය පිට අතුරා ඉඳගෙන, ගොයම් කපන කාලය පටන්ගැන්මේ සිට අහසින් වැසි වසින තෙක් දවල් ආකාශයේ පක්ෂීන්ට වත්, රෑ වනයේ මෘගයන්ට වත් ඒ මළකඳන් ළඟට පැමිණෙන්නට ඉඩ නො‍දී සිටියා ය.</verse>
				<verse number="11">අයාගේ දුව වූ, සාවුල්ගේ උපභාර්යාව වූ රිශ්පා කළ දෙය දාවිත්ට දන්වන ලද්දේ ය.</verse>
				<verse number="12">එවිට ඔහු ගොස්, ජාබෙෂ්-ගිලියද් වැසියන්ගෙන් සාවුල්ගේ ද ඔහුගේ පුත් ජොනතන්ගේ ද ඇටකටු අරගත්තේ ය. ඔවුන් ඒ ඇටකටු බෙත්ෂාන්හි ප්‍රසිද්ධ චතුරශ්‍රයෙන් සොරාගෙන ගොස් තිබිණි. සාවුල් ගිල්බෝවා කන්දේ දී මරනු ලැබූ දවසේ දී පිලිස්තිවරුන් ඔහුගේ ද ජොනතන්ගේ ද සිරුරු එල්ලුවේ ඒ චතුරශ්‍රයෙහි ය.</verse>
				<verse number="13">දාවිත් ගොස් සාවුල්ගේ ඇටකටු සහ ඔහුගේ පුත් ජොනතන්ගේ ඇටකටු එතැනින් ගෙනාවේ ය. එල්ලා දමන ලද තැනැත්තන්ගේ ඇටකටුත් ඔව්හු එකතු කළෝ ය.</verse>
				<verse number="14">සාවුල්ගේ ද ඔහුගේ පුත් ජොනතන්ගේ ද ඇටකටු බෙන්ජමින් රටේ ශේලාහි තිබෙන සාවුල්ගේ පිය වූ කිෂ්ගේ සොහොන් ගෙයි තැන්පත් කොට රජු විසින් අණ කරන ලද සියල්ල ඔව්හු කළෝ ය. ඉන්පසු දේශය වෙනුවෙන් කරන ලද කන්නලව්වට දෙවියන් වහන්සේ සවන් දුන් සේක.</verse>
				<verse number="15">ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව පිලිස්තිවරු යළිත් යුද්ධයක් කළහ. දාවිත් තමාගේ සේවකයන් සමඟ ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධ ව සටන් කෙළේ ය. දාවිත් විඩාවට පත් විය.</verse>
				<verse number="16">එවිට රෙපායිම් නම් යෝධයන්ගෙන් පැවත ආ කෙනෙකු වන ඉෂ්බි-බෙනො‍බ්, දාවිත් මරන්නට සිතා ගත්තේ ය. ඔහුගේ ලෝකඩ හෙල්ලයේ බර කිලෝග්‍රෑම් තුනහමාරක් ය. ඔහු අලුත් කඩුවක් ද ඉණේ බැඳගෙන සිටියේ ය.</verse>
				<verse number="17">එහෙත්, ශෙරුයාගේ පුත් අබිෂයි රජුට සහාය වී පිලිස්තියයාට පහර දී ඔහු මැරුවේ ය. එවිට දාවිත්ගේ සෙනඟ, “ඉශ්රායෙල්වරුන්ගේ පහන වැනි බලාපොරොත්තුව වන ඔබ, නො‍නිවෙන පිණිස තවත් අප සමඟ යුද්ධයට නො‍යා යුතු ය”යි දිවුරුම් දී දාවිත්ට කියා සිටියෝ ය.</verse>
				<verse number="18">ඉන්පසු නැවතත් පිලිස්තිවරුන් සමඟ ගෝබ්හි යුද්ධයක් විය. එවිට හුෂාතිය සිබ්බෙකයි, යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ සප් මැරුවේ ය.</verse>
				<verse number="19">නැවතත් පිලිස්තිවරුන් සමඟ ගෝබ්හි යුද්ධයක් විය; බෙත්ලෙහෙමීය ජාරේ-ඔරෙගීම්ගේ පුත්‍ර වූ එල්හානාන් ගිත්තීය ගොලියත්ගේ සහෝදරයා මැරුවේ ය. ඔහුගේ හෙල්ලයේ මිට වියන යන්ත්‍රයක දණ්ඩක් හා සමාන ය.</verse>
				<verse number="20">නැවතත් ගාත්හි යුද්ධයක් විය; එහි බොහෝ උස මහත මනුෂ්‍යයෙක් සිටියේ ය. ඔහුගේ අත්වලත්, පාවලත් හය හය බැගින් ඇඟිලි විසිසතරක් තිබිණි. ඔහුත් යෝධයාට දාව උපන් කෙනෙකි.</verse>
				<verse number="21">ඔහු ඉශ්රායෙල්වරුන්ට අභියෝග කළ කල, දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයිගේ පුත්‍ර වූ ජොනතන් ඔහු මැරී ය.</verse>
				<verse number="22">ඒ සතරදෙනා ගාත්හි දී යෝධයාට දාව උපන්නෝ ය. ඔව්හු දාවිත් අතින් ද ඔහුගේ සේවකයන් අතින් ද මැරුම්කෑවෝ ය.</verse>
			</chapter>
			<chapter number="22">
				<verse number="1">සමිඳාණන් වහන්සේ දාවිත්ගේ සියලු සතුරන් අතින් ද සාවුල් අතින් ද ඔහු මුදාගත් කල ඔහු සමිඳාණන් වහන්සේට ගැයූ ගීයේ වචන මෙසේ ය:</verse>
				<verse number="2">සමිඳාණෝ මාගේ පර්වතය ය, මාගේ බලකොටුව ය, මාගේ මිදුම්කාරයාණෝ ය.</verse>
				<verse number="3">මාගේ පර්වතය වන දෙවිඳාණෝ ය; මම එතුමාණන් සරණ කරගනිමි. එතුමාණෝ මාගේ පලිහ ය; මාගේ ගැළවීමේ බලය ය; මාගේ බලකොටුව ය; මාගේ රක්ෂස්ථානය ය; මාගේ විමුක්තිදායකයාණෝ ය; ඔබ බලහත්කාරකමෙන් මා ගළවන සේක.</verse>
				<verse number="4">සියලු පැසසුම්වලට හිමිකම් ඇති සමිඳුන් මම අයැද සිටිමි. මෙසේ මාගේ සතුරන්ගෙන් මම ගැළවෙන්නෙමි.</verse>
				<verse number="5">මන්ද, මරණය නමැති තරංගයෝ මා වට කළහ. අධර්මය නමැති ජලධාරාවෝ මා බියගැන්වූ හ.</verse>
				<verse number="6">පාතාලයේ රැහැන් මා වෙළා ගති, මරණයේ මලපත් මට අටවා තිබිණි.</verse>
				<verse number="7">මාගේ විපතේ දී මම සමිඳුන් යැදීමි. එසේ ය, මාගේ දෙවිඳුන්ට මොරගැසීමි. එතුමාණෝ සිය මාලිගාවේ සිට මාගේ හඬට සවන් දුන් සේක. මා යැදුම් එතුමන් වෙත නැඟිණි.</verse>
				<verse number="8">එවිට පොළො‍ව සෙලවී කම්පා විය; සග පදනම් ද වෙවුළා සෙලවිණි. මන්ද, එතුමාණෝ උදහස් වූ සේක.</verse>
				<verse number="9">එතුමාණන්ගේ නාස් පුඬුවලින් දුමක් නැඟිණි. එතුමන්ගේ මුවින් වනසන ගින්නක් නික්මිණි, එයින් ගිනි අඟුරු ඇවිළිණි.</verse>
				<verse number="10">එතුමාණෝ අහස නමා බැස වැඩිය සේක, එතුමන්ගේ පා යට ගන’ඳුර වී ය.</verse>
				<verse number="11">එතුමාණෝ කෙරුබ්වරයෙකු අරා පියාසර කළ සේක. එසේ ය, එතුමාණෝ සුළං පියාපත් පිට පියාඹා වැඩිය සේක.</verse>
				<verse number="12">එතුමාණෝ අඳුර සිය ආවරණය කරගත් සේක. ඝන වැහි වලා සිය මණ්ඩපය කරගත් සේක.</verse>
				<verse number="13">එතුමාණන් ඉදිරියෙහි වූ දීප්තියෙන් ගිනි අඟුරු දැල්වී ගියේ ය.</verse>
				<verse number="14">සමිඳාණෝ අහසේ සිට ගිගුරුම් දුන් සේක: මහෝත්තමයාණෝ සිය හඬ නිකුත් කළ සේක.</verse>
				<verse number="15">එතුමාණෝ සිය ඊගස් විද ඔවුන් විසුරුවා හළ සේක; විදුලිය එවා ඔවුන් පරාජය කළ සේක.</verse>
				<verse number="16">එකල සමිඳුන්ගේ තරවටුවෙන් ද එතුමන්ගේ නාසයෙන් නික්මුණ වාත වේගයෙන් ද සමුද්‍ර පත්ල එළි පෙහෙළි විය; පොළො‍වේ පදනම් ද දිස් විය.</verse>
				<verse number="17">එතුමාණෝ උඩින් අත පොවා මා අල්ලාගත් සේක; ගැඹුරු දිය පාරින් මා ඇදගත් සේක.</verse>
				<verse number="18">මාගේ බලවත් සතුරන්ගෙන් ද මට වෛර කළවුන්ගෙන් ද එතුමාණෝ මා මුදා ගත් සේක. මන්ද, ඔව්හු මට වඩා බලවත් වූ හ.</verse>
				<verse number="19">මාගේ විපත්ති දවසේ දී ඔව්හු මට විරුද්ධ ව නැඟී ආහ. එහෙත්, සමිඳාණෝ මාගේ පිහිට වූ සේක.</verse>
				<verse number="20">එතුමාණෝ අවහිර නැති තැනකට මා ගෙනා සේක, මා කෙරෙහි ප්‍රසන්න වූ බැවින් මා මිදූ සේක.</verse>
				<verse number="21">සමිඳාණෝ මාගේ දැහැමිකම අනුව මට විපාක දුන් සේක. මාගේ නිදොස්කම අනුව මට ප්‍රතිඵල දුන් සේක.</verse>
				<verse number="22">මන්ද, මම සමිඳු මඟ හැසුරුණෙමි, මාගේ දෙවිඳුන් කෙරෙන් දුෂ්ට ලෙස අහක් ව නො‍ගියෙමි.</verse>
				<verse number="23">එතුමන්ගේ සියලු නියෝග මා ඉදිරියෙහි විය. එතුමන්ගේ පණත්වලින් ඉවත් ව නො‍ගියෙමි.</verse>
				<verse number="24">මම එතුමන් ඉදිරියෙහි නිදොස් ව සිටියෙමි; පවින් වැළකී සිටියෙමි.</verse>
				<verse number="25">එබැවින් සමිඳාණෝ මාගේ දැහැමිකම අනුව ද එතුමන්ගේ ඇස් හමුයෙහි මාගේ පිරිසිදුකම අනුව ද මට ප්‍රතිඵල දුන් සේක.</verse>
				<verse number="26">කරුණාවන්ත අයට ඔබ කරුණාවන්ත ය. නිදොස් අයට ඔබ නිදොස් ය.</verse>
				<verse number="27">පිරිසිදු අයට ඔබ පිරිසිදු ය. හිතුවක්කාර අයට ඔබ විරුද්ධ ය.</verse>
				<verse number="28">ඔබ පීඩිත සෙනඟ ගළවන සේක. එහෙත්, උඩඟු වූවන් පහත් කරන පිණිස ඔබේ ඇස් ඔවුන් දෙස යොමා තිබේ.</verse>
				<verse number="29">මන්ද, සමිඳුනි, ඔබ මාගේ පහන ය, සමිඳාණෝ මාගේ අඳුර එළිය කරන සේක.</verse>
				<verse number="30">ඔබේ පිහිටෙන් මට හමුදාවක් වැනසිය හැකි ය. ඔබේ පිහිටෙන් පවුරු උඩින් පැන්න හැකි ය.</verse>
				<verse number="31">මේ දෙවිඳුන්ගේ මාර්ගය පරිපූර්ණ ය; සමිඳුන්ගේ වචන නිර්මල ය. තමන් සරණ යන අයට එතුමාණෝ පලිහක් වන සේක.</verse>
				<verse number="32">මන්ද, සමිඳුන් මිස දෙවි වන්නේ කවරෙක් ද? අපේ දෙවිඳුන් මිස පර්වතයක් වන්නේ කවරෙක් ද?</verse>
				<verse number="33">මේ දෙවි තුමාණෝ මාගේ බලකොටුව ය; එතුමාණෝ මාගේ මාර්ගය නිදොස් කරන සේක.</verse>
				<verse number="34">
					එතුමාණෝ මාගේ පාද මුව දෙනුන්ගේ පාද මෙන් කරන සේක.
					කඳු මුදුන්හි මා සුරක්ෂිත ව තබන සේක.
				</verse>
				<verse number="35">මාගේ බාහුවෙන් ලෝකඩ දුන්නක් නමන්න පුළුවන් වන පිණිස එතුමාණෝ මාගේ දෑත සටනට පුහුණු කරන සේක.</verse>
				<verse number="36">ඔබේ ගැළවීම නමැති පලිහ ඔබ මට දුන් සේක. ඔබේ පිහිට මා උසස් කළ සේක.</verse>
				<verse number="37">ඔබ මාගේ දෙපා යට මාගේ අඩි පාර පළල් කළ සේක. මාගේ පාද නො‍ලිස්සුවේ ය.</verse>
				<verse number="38">මම මාගේ සතුරන් ලුහුබැඳ ගොස් ඔවුන් විනාශ කෙළෙමි. මම ඔවුන් වනසන තුරු හැරී නායෙමි.</verse>
				<verse number="39">නැඟිටින්න බැරි වන ලෙස මම ඔවුන්ට පහර දී ඔවුන් වැනසුවෙමි. එසේ ය, ඔවුහු වැටී මාගේ පාදවලට යට වූ හ.</verse>
				<verse number="40">මන්ද, ඔබ සටන් පිණිස ශක්තියෙන් මාගේ ඉඟටිය සවිමත් කරන සේක. මට විරුද්ධ ව නැඟුණ අය ඔබ මා ඉදිරියෙහි අවනත කරවූ සේක.</verse>
				<verse number="41">ඔබ මාගේ සතුරන්ට පසු බැස යන්න සැලැසූ සේක. මට ද්වේෂ කරන්නන් මම විනාශ කරමි.</verse>
				<verse number="42">ඔවුන් බැලූ නමුත්, ඔවුන් ගළවන්න කිසිවෙක් නො‍ වූ හ. සමිඳුන්ට මොරගැසූ නමුත් එතුමාණෝ උත්තර නුදුන් සේක.</verse>
				<verse number="43">එකල මම පොළො‍වෙහි ධූලි මෙන් ඔවුන් සුණු විසුණු කෙළෙමි. වීථිවල මඩ මෙන් ඔවුන් පාගා දැමුවෙමි.</verse>
				<verse number="44">කැරලිකාර සෙනඟගෙන් ඔබ මා මිදූ සේක; ජාතීන්ට ප්‍රධානියා වන පිණිස මා රක්ෂා කළ සේක; මා නො‍හඳුනන සෙනඟක් මට මෙහෙ කරති.</verse>
				<verse number="45">විදේශීහු බැගෑපත් ව මාගේ පිහිට පතා එන්නෝ ය. මා ගැන ඇසූ කෙණෙහි ම ඔවුහු මට කීකරු වෙති.</verse>
				<verse number="46">විදේශීහු මලානික වී තමන් සැඟවී උන් හිටි තැන්වලින් වෙවුළමින් පිටත එති.</verse>
				<verse number="47">සමිඳාණෝ ජීවමාන ය; මාගේ පර්වතයාණන්ට ප්‍රශංසා වේ වා! මාගේ ගැළවීමේ පර්වතය වන දෙවිඳාණෝ උසස් වන සේක් වා!</verse>
				<verse number="48">එතුමාණෝ, මා උදෙසා සතුරන්ගෙන් පළිගන්න, ජාතීන් මට යටත් කර දෙන,</verse>
				<verse number="49">මාගේ සතුරන්ගෙන් මා මුදාගන්න දෙවියන් වහන්සේ ය. එසේ ය, මට විරුද්ධ ව නැඟී සිටින්නාට වඩා ඔබ මා උසස් කරන සේක; සැහැසි මිනිසුන්ගෙන් මා ගළවන සේක.</verse>
				<verse number="50">
					එබැවින් සමිඳුනි, විජාතීන් අතරේ ඔබට ස්තුති කරන්නෙමි;
					ඔබේ නාමයට ප්‍රශංසා ගී ගයන්නෙමි.
				</verse>
				<verse number="51">උන් වහන්සේ තමන් රජු හට ඉමහත් ජය අත් කර දෙන සේක. තමන්ගේ අභිෂේක ලත් තැනැත්තා වන දාවිත්ටත්, ඔහුගේ වංශයටත් සදහට කරුණාව පෙන්වන සේක.</verse>
			</chapter>
			<chapter number="23">
				<verse number="1">දාවිත්ගේ අවසාන වචන මෙසේ ය. ජෙස්සේගේ පුත්‍රයා ද උසස් කරනු ලැබූ මනුෂ්‍යයා ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේගේ අභිෂේක ලත් නැතැත්තා ද ඉශ්රායෙල් ජාතියේ මිහිරි ගායකයා ද වන දාවිත් මෙසේ කියයි:</verse>
				<verse number="2">“සමිඳුන්ගේ ආත්මය මා මඟින් කතා කරන්නේ ය. එතුමන්ගේ වචනය මාගේ දිවේ තිබුණේ ය.</verse>
				<verse number="3">ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳාණෝ කතා කළ සේක. ඉශ්රායෙල්වරුන්ගේ පර්වතයාණෝ මට මෙසේ වදාළ සේක: මිනිසුන් යුක්තියෙන් පාලනය කරන, දේව ගරු බිය ඇති ව ආණ්ඩු කරන තැනැත්තේ වූකලී,</verse>
				<verse number="4">වැස්සෙන් පසු, වලාකුළු නැති උදයක දී, පොළො‍වේ තණ දීප්තිමත් කරන අලුයම හිරු උදා වන කල ඇති එළිය වැනි ය.</verse>
				<verse number="5">සැබැවින් මාගේ වංශය දෙවිඳුන් ඉදිරියෙහි එසේ ම නො‍පවතින්නේ ද? මන්ද, සියල්ල නියම ලෙස ස්ථිර කර තිබෙන සදාකාල ගිවිසුමක් එතුමාණෝ මා සමඟ කළ සේක. මාගේ මුළු ගැළවීමත්, මට රිසි සියල්ලත් එතුමාණෝ සඵල වන්නට නො‍සලසන සේක් ද?</verse>
				<verse number="6">එහෙත්, සියලු දුදනෝ අතින් ඇල්ලිය නො‍හැකි, අහක දමනු ලබන කටු ගස් හා සමාන ය.</verse>
				<verse number="7">ඒවා අල්ලන මිනිසා යකඩ අවියක් හෝ හෙල්ල මිටක් හෝ රැගෙන සිටිය යුතු ය; ඒවා මුළුමනින් ගින්නෙන් දවා ලනු ඇත.”</verse>
				<verse number="8">දාවිත් රජුට සිටි වීරයන්ගේ නාම මේවා ය: අධිපතීන්ට ප්‍රධාන වූ තාකෙමොනිය ජොෂෙබ්-බෂ්ෂෙබෙත් ය; අධිපතීන් තුන්දෙනාගේ ප්‍රධානියා වූ ඔහු එක් වතාවක දී අටසියදෙනෙකුට විරුද්ධ ව තමාගේ හෙල්ලය ලෙළවා ඔවුන් මැරුවේ ය.</verse>
				<verse number="9">ඊළඟට අහෝහිය දෝදෝගේ පුත් එලෙයාසර් ය; ඔහු පිලිස්තිවරුන් යුද්ධයට රැස් ව සිටිය දී, ඉශ්රායෙල් සෙනඟ පසු බැස ගිය විට, ඒ ස්ථානයෙහි දාවිත් රජු සමඟ සිට ඔවුන්ට අභියෝග කළ බලවන්තයන් තුන්දෙනාගෙන් දෙවැන්නා ය.</verse>
				<verse number="10">ඔහු නැඟිට තමාගේ අත හිරි වැටී, අත කඩුවට ඇළෙන තුරු පිලිස්තිවරුන්ට පහර දුන්නේ ය. සමිඳාණන් වහන්සේ එදා ඉමහත් ජයක් සලසා දුන් සේක. සෙනඟ ද කොල්ලය ගන්නට පමණක් ඔහු පස්සේ ගියහ.</verse>
				<verse number="11">ඊළඟට, හාරාරීය අගීගේ පුත් ෂම්මා ය. පිලිස්තිවරු කොල්ලු පිරී තිබුණු ලෙහි නම් බිම් කොටසක එක්රැස් ව සිටියෝ ය; සෙනඟ ද පිලිස්තිවරුන් ඉදිරියෙන් පලා ගියහ.</verse>
				<verse number="12">එහෙත්, ඔහු බිම් කොටස මැද සිට එය බේරාගෙන පිලිස්තිවරුන් මැරුවේ ය. සමිඳාණන් වහන්සේ ඉමහත් ජයක් සලසා දුන් සේක.</verse>
				<verse number="13">ප්‍රධාන තිස්දෙනාගෙන් තුන්දෙනෙක් ගොයම් කපන කාලයේ දී දාවිත් සිටි අදුල්ලම් ගුහාවට ගියහ. පිලිස්තිවරුන්ගේ හමුදාව රෙපායිම් මිටියාවතෙහි කඳවුරු බැඳගෙන සිටියහ.</verse>
				<verse number="14">දාවිත් එවකට බලකොටුවෙහි සිටියේ ය. පිලිස්තිවරුන්ගේ හමුදාව එවකට බෙත්ලෙහෙම්හි සිටියහ.</verse>
				<verse number="15">දාවිත්, තද පිපාසාවක් ඇති ව, “අනේ, බෙත්ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳේ වතුර ටිකක් කවුරුත් ගෙනවුත් මට බොන්නට දෙන්නේ නම් යහපතැ”යි කීවේ ය.</verse>
				<verse number="16">එවිට ඒ වීරයන් තිදෙනා පිලිස්තිවරුන්ගේ කඳවුර මැදින් කඩා බිඳගෙන ගොස්, බෙත්ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳෙන් වතුර ඇද දාවිත් වෙත ගෙනාහ. එහෙත්, ඔහු එය නො‍බී, සමිඳාණන් වහන්සේට පානීය පූජාවක් ඔප්පු කොට,</verse>
				<verse number="17">“සමිඳාණන් වහන්ස, මෙය බීමෙන් මා වැළැක්වුව මැනව. මේ වනාහි, සිය දිවි නො‍තකා ඉදිරියට ගිය මිනිසුන්ගේ ලේ ය”යි කී ය. ඒ නිසා ඔහු ඒ වතුර නො‍බීවේ ය. ඒ වීරයන්ගේ බලවත් ක්‍රියා එසේ ය.</verse>
				<verse number="18">ශෙරුයාගේ පුත් ජෝවාබ්ගේ සහෝදර වූ අබිෂයි තුන්දෙනාගේ ප්‍රධානියා විය. ඔහු සිය හෙල්ලය තුන්සියදෙනෙකුට විරුද්ධ ව ලෙළවා ඔවුන් මරා තුන්දෙනා අතරේ නම ගිය කෙනෙක් විය.</verse>
				<verse number="19">තුන්දෙනා අතරෙන් ඔහු ඉතා කීර්තිමත් තැනැත්තා වෙමින්, ඔවුන්ගේ ප්‍රධානියා විය. එසේ වුවත්, ඔහු පළමු වන තිදෙනා තරම් කීර්තිමත් නො‍ වී ය.</verse>
				<verse number="20">බොහෝ වීර ක්‍රියා කළ, කබ්ශෙයෙල් ජාතිකයෙකු වූ ජෙහෝයාදාගේ පුත් බෙනායා මෝවබ්හි අරියෙල්ගේ පුත්‍රයන් දෙදෙනා මැරුවේ ය. හිම වැටෙන දවසක දී ඔහු ගොස් වළක් ඇතුළෙහි වූ සිංහයෙකු මැරුවේ ය.</verse>
				<verse number="21">ඔහු එඩිතර පෙනුමක් ඇති මිසර ජාතිකයෙකු මැරුවේ ය. ඒ මිසර ජාතිකයාගේ අතේ හෙල්ලයක් තිබිණි; එහෙත්, ඔහු පොල්ලක් ඇතුව මිසර ජාතිකයා ළඟට ගොස් ඔහුගේ අතින් හෙල්ලය උදුරාගෙන ඔහුගේ ම හෙල්ලයෙන් ඔහු මරා දැමී ය.</verse>
				<verse number="22">ජෙහෝයාදාගේ පුත් බෙනායා මේ දේවල් කොට වීරයන් තුන්දෙනා අතර කීර්තියක් ලැබී ය.</verse>
				<verse number="23">ඔහු සෙසු තිස්දෙනාට වඩා කීර්තිමත් කෙනෙක් විය; එහෙත්, පළමු වන තිදෙනා තරම් කීර්තිමත් නො‍ වී ය. දාවිත් රජ ඔහු තමාගේ මුර හේවායන්ගේ අධිපතියා කෙළේ ය.</verse>
				<verse number="24">ජෝවාබ්ගේ සහෝදර වූ අසාහෙල් තිස්දෙනාගෙන් එක් කෙනෙක් ය. තවත් අයගේ නම් මෙසේ ය: බෙත්ලෙහෙම්හි දෝදෝගේ පුත් එල්හානාන් ය;</verse>
				<verse number="25">හරොදිය ෂම්මා ය;</verse>
				<verse number="26">හරොදිය එලිකා ය; පල්තිය හෙලෙශ් ය; තෙකෝයිය ඉක්කෙෂ්ගේ පුත් ඊරා ය;</verse>
				<verse number="27">අනාතෝතිය අබියෙශෙර් ය; හුෂාතිය මෙබුන්නයි ය;</verse>
				<verse number="28">අහෝහිය ශල්මොන් ය; නෙටෝපාතිය මහරයි ය;</verse>
				<verse number="29">නෙටෝපාතිය බානාගේ පුත් හෙලෙබ් ය; බෙන්ජමින් ගෝත්‍රයේ ගිබියාහි රීබයිගේ පුත් ඉත්තයි ය;</verse>
				<verse number="30">පීරාතෝනිය බෙනායා ය; ගායෂ්හි මිටියාවතේ හිද්දයි ය;</verse>
				<verse number="31">අර්බාතිය අබි-යල්බොන් ය; බර්හුමිය අශ්මාවෙත් ය;</verse>
				<verse number="32">ෂාල්බොනිය එලියාබා ය; ජාෂෙන්ගේ පුත්‍රයන්ගෙන් ජොනතන් ය;</verse>
				<verse number="33">හරාරීය ෂම්මා ය; අරාරිය ෂරාර්ගේ පුත් අහියාම් ය;</verse>
				<verse number="34">මයකාතිය ජාතිකයාගේ පුත් වන අහස්බයිගේ පුත් එලිපෙලෙත් ය; ගිලොනිය අහිතොපෙල්ගේ පුත් එලියාම් ය;</verse>
				<verse number="35">කර්මෙලිය හශේරයි ය; අර්බිය පයරයි ය;</verse>
				<verse number="36">ශෝබාහි නාතාන්ගේ පුත් ඉගාල් ය; ගාදිය බානි ය;</verse>
				<verse number="37">අම්මොනිය ශෙලෙක් ය; ශෙරුයාගේ පුත් ජෝවාබ්ගේ ආයුධ ගෙනයන්නා වන බෙයේරොතිය නහරයි ය;</verse>
				<verse number="38">ඉත්රීය ඊරා ය; ඉත්රීය ගාරෙබ් ය;</verse>
				<verse number="39">හිත්තීය උරියා ය; ඒ සියල්ලෝ තිස්හත්දෙනෙකි.</verse>
			</chapter>
			<chapter number="24">
				<verse number="1">සමිඳාණන් වහන්සේගේ උදහස යළිත් ඉශ්රායෙල් සෙනඟට විරුද්ධ ව ඇවිළිණි. උන් වහන්සේ ඔවුන්ට විරුද්ධ ව දාවිත් පොළඹවමින්, “නුඹ ගොස්, ඉශ්රායෙල්වරුන් ද ජුදෙව්වරුන් ද ගණන් කරන්නැ”යි ඔහුට වදාළ සේක.</verse>
				<verse number="2">රජ තෙමේ ජෝවාබ්ට ද තමා සමඟ සිටි සේනාපතීන්ට ද කතා කොට, “සෙනඟගේ ගණන මා දැනගන්න පිණිස, ඔබ දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා සියලු ඉශ්රායෙල් ගෝත්‍ර අතරේ ඇවිද සෙනඟ ගණන් කරන්නැ”යි කී ය.</verse>
				<verse number="3">ජෝවාබ්, රජුට කතා කොට, “දැන් සිටින ගණන කොපමණ වුවත් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ සෙනඟ ඊට වඩා සිය ගුණයක් වැඩි කරන සේක් වා! මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට එය සියැසින් දකින්නටත් ලැබේ වා! එහෙත්, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් මේ ගැන ප්‍රිය වන්නේ කුමට දැ”යි ඇසී ය.</verse>
				<verse number="4">එහෙත්, ජෝවාබ් හා සේනාපතීන් කී දේ රජතුමා නො‍සලකා සිය නියමය ස්ථිර කෙළේ ය. ජෝවාබ් ද සේනාපතීහු ද ඉශ්රායෙල් සෙනඟ ගණන් කරන පිණිස රජු ඉදිරියෙන් පිටත් ව ගියහ.</verse>
				<verse number="5">ඔව්හු ජොර්දාන් ගඟෙන් එගොඩට ගොස් අරෝයෙර්හි ගාද් සිට ද මිටියාවත මැද තිබෙන නගරය සිට ද සෙනඟ ගණන් කරන්නට පටන්ගෙන, ජාසේර් දෙසට ද ගමන් කළහ.</verse>
				<verse number="6">එතැනින් ඔව්හු ගිලියද්ටත්, හිත්තීවරුන්ගේ දේශයෙහි වූ කාදෙෂ්ටත් පැමිණියහ. ඉන්පසු දාන්යාන්ටත්, වටකරින් ගොස් සීදොන් දෙසටත් ගමන් කළහ.</verse>
				<verse number="7">එතැනින් පවුරු ඇති තීර්ටත්, හිවීවරුන්ගේ ද කානානිවරුන්ගේ ද සියලු නගරවලටත් පැමිණ, ජුදාහි දකුණු දිශාවේ බෙයර්-ෂෙබා දක්වා ගියහ.</verse>
				<verse number="8">මෙලෙස ඔව්හු මුළු දේශයෙහි සැරිසරා නව මාස විසි දවසකට පසු ජෙරුසලමට ආපසු පැමිණියහ.</verse>
				<verse number="9">ජෝවාබ් ගණන් කළ සෙනඟගේ මුළු ගණන රජුට දැන්වී ය. අවි ආයුධ දැරීමට දක්ෂ මිනිසුන්ගේ ගණන ඉශ්රායෙල්හි අටලක්ෂයක් ද ජුදාහි පන්ලක්ෂයක් ද වූ හ.</verse>
				<verse number="10">දාවිත් සෙනඟ ගණන් කළ පසු ඔහුගේ සිත ඔහුට දොස් තැබී ය. දාවිත් සමිඳාණන් වහන්සේට කතා කොට, “මම මේ දේ කිරීමෙන් බොහෝ සෙයින් පව් කෙළෙමි. දැන් සමිඳුනි ඔබේ මෙහෙකරුවාගේ අපරාධ පහ කළ මැනව; මන්ද, මම බොහෝ අනුවණ ලෙස ක්‍රියා කෙළෙමි”යි කී ය.</verse>
				<verse number="11">දාවිත් පසු දින උදේ අවදි වූ විට දාවිත්ගේ දිවැසිවරයා වන ගාද් වෙත සමිඳාණන් වහන්සේගෙන් මේ පණිවුඩය පැමිණියේ ය: “නුඹ ගොස් දාවිත්ට මෙසේ කියන්න:</verse>
				<verse number="12">‘මම කරුණු තුනක් නුඹ ඉදිරියෙහි තබමි; නුඹ පිට පමුණුවන පිණිස එයින් එකක් තෝරාගන්නැ’යි කී ය.</verse>
				<verse number="13">ගාද් දාවිත් ළඟට අවුත් ඔහුට එපවත් දන්වමින්, “ඔබ කැමැති කොයි එකට ද? ඔබේ දේශයට සත් අවුරුද්දක් සාගතය පැමිණීමට ද? නො‍හොත් තුන් මාසයක් ඔබේ සතුරන් ඔබ පසුපස ලුහුබැඳ එද්දී ඔබ ඔවුන් ඉදිරියෙන් පලා යෑමට ද, නො‍හොත් ඔබේ දේශයෙහි තුන් දවසකට වසංගතයක් ඇති වීමට ද? දැන් ඉතින් මා එවූ තැනැන් වහන්සේට කෙබඳු උත්තරයක් මා දිය යුතු දැ යි කල්පනා කර බලන්නැ”යි කී ය.</verse>
				<verse number="14">දාවිත් පිළිතුරු දෙමින්, “මම මහත් අමාරුවකට වැටී සිටිමි. ඉතින් සමිඳාණන් වහන්සේගේ අතට අපි භාර වන්නෙමු. මන්ද, උන් වහන්සේගේ අනුකම්පාව ඉමහත් ය. මිනිසුන්ගේ අතට මම අසු නො‍වෙම්වා”යි ගාද්ට කී ය.</verse>
				<verse number="15">මෙසේ සමිඳාණන් වහන්සේ උදය පටන් නියම වේලාව දක්වා ඉශ්රායෙල් දේශය පිට වසංගතයක් එවූ සේක. එයින් දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා සෙනඟගෙන් මිනිස්සු සැත්තෑ දහසක් මැරුණෝ ය.</verse>
				<verse number="16">දේව දූතයා ජෙරුසලම විනාශ කරන්නට තමාගේ අත ඒ දෙසට දිගු කළ විට, සමිඳාණන් වහන්සේ විපත ගැන තැවී සෙනඟ අතරේ විනාශ සිදු කරන දූතයාට කතා කොට, “ඉතින් ඇති, නුඹේ අත ඉවත් කර ගන්නැ”යි වදාළ සේක. සමිඳාණන් වහන්සේගේ දූතයා ඒ අවස්ථාවේ දී ජෙබුසිය අරව්නාගේ කමත ළඟ සිටියේ ය.</verse>
				<verse number="17">දාවිත් ද සෙනඟට පහර දෙන දූතයා, දැක, සමිඳාණන් වහන්සේට කතා කොට, “මම පව් කෙළෙමි. මම අපරාධ කෙළෙමි. එහෙත්, මේ බැටළුවෝ කුමක් කළෝ ද? අනේ ඔබේ අත මා පිටත්, මාගේ පවුල පිටත් පැමිණේ වා”යි කී ය.</verse>
				<verse number="18">එදින ගාද් දාවිත් ළඟට අවුත්, “ඔබ ගොස් ජෙබුසිය අරව්නාගේ කමතේ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනඟන්නැ”යි ඔහුට කී ය.</verse>
				<verse number="19">දාවිත් සමිඳාණන් වහන්සේ අණ කළ ලෙස ගාද්ගේ කීමේ හැටියට නැඟිට ගියේ ය.</verse>
				<verse number="20">අරව්නා බැලූ විට රජු ද ඔහුගේ සේවකයන් ද තමා වෙත එනු දැක පිටතට අවුත්, මුණින්තළා වී රජුට වැඳ,</verse>
				<verse number="21">“මාගේ ස්වාමීන් වන රජතුමා, තමාගේ මෙහෙකරුවා ළඟට ආවේ කුමක් පිණිස දැ”යි ඇසී ය. “වංසගතය සෙනඟගෙන් පහ වන පිණිස සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනැඟීම සඳහා කමත ඔබෙන් මිලේට ගැනීමට ය”යි දාවිත් පිළිතුරු දිනි.</verse>
				<verse number="22">අරව්නා ද, “මාගේ ස්වාමීන් වන රජතුමා, එය ගෙන ඔබ කැමැති දෙයක් පූජා කරනු මැනව. මෙන්න, දවන යාග පූජාවට ගවයෝ සිටිති. දර පිණිස මඩින යන්ත්‍ර ද ගවයන්ගේ වියගස් ද තිබේ.</verse>
				<verse number="23">රජතුමනි, අරව්නා වන මම මේ සියල්ල රජතුමාට දෙන්නෙමි”යි දාවිත්ට කී ය. තවදුරටත් අරව්නා කතා කොට, “ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ පිළිගන්න සේක් වා”යි රජුට කී ය.</verse>
				<verse number="24">රජ ද, “එසේ නොව, මිලේට එය ඔබෙන් ගනිමි, මට වියදමක් නැති ව මාගේ දෙවි සමිඳාණන් වහන්සේට දවන යාග පූජා ඔප්පු නො‍කරමි”යි අරව්නාට කී ය. එසේ දාවිත් කමත ද ගවයන් ද රිදී කාසි පණසකට ගත්තේ ය.</verse>
				<verse number="25">එහි දාවිත් සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනඟා දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කෙළේ ය. එවිට සමිඳාණන් වහන්සේ දේශය ගැන කළ කන්නලව්ව පිළිගත් සේක. ඉශ්රායෙල් දේශයේ වසංගතය පහ ව ගියේ ය.</verse>
			</chapter>
		</book>
		<book number="11">
			<chapter number="1">
				<verse number="1">දාවිත් රජු මහලු ව වයස්ගත ව සිටි කල කම්බිලිවලින් වසනු ලැබූ නමුත්, ඔහුට උණුසුම ලැබුණේ නැත.</verse>
				<verse number="2">එබැවින් ඔහුගේ සේවකයෝ ඔහුට කතා කොට, “ස්වාමීන් වන රජතුමෙනි, ඔබ ඉදිරියෙහි සිටීමටත්, ඔබට සාත්තු සප්පායම් කරමින් ඔබට උණුසුම ලැබෙන පිණිස ඔබේ ළයෙහි සැතපීමටත් සුදුසු තරුණ කාන්තාවක සොයා දෙන්නට අපට අවසර දුන මැනවැ”යි කී හ.</verse>
				<verse number="3">ඔව්හු රුවැති තරුණියක මුළු ඉශ්රායෙල් දේශ සීමා තුළ සොයා, ෂුනම්මීය අබිෂග් නම් තරුණිය සම්බ වී ඈ රජු ළඟට ගෙනාවෝ‍ ය.</verse>
				<verse number="4">තරුණිය ඉතා රූමත් වූවා ය. ඈ රජුට සාත්තු සප්පායම් කොට, ඔහුට ආවතේව කළ නමුත්, රජ ඇය සමඟ එක් නො වී ය.</verse>
				<verse number="5">එකල හග්ගිත්ගේ පුත් අදොනියා, “මම රජ වෙමි”යි තමා ම උසස් කරගෙන රථ ද අසරුවන් ද තමාට පෙරටුවෙන් දුවන පිණිස මිනිසුන් පණස්දෙනෙකු ද සපයාගත්තේ ය.</verse>
				<verse number="6">“ඔබ මෙසේ කෙළේ මන්දැ”යි ඔහුගේ පියා ඔහුට කවදාවත් තරවටු කෙළේ නැත. අදොනියා කඩවසම් පෙනුමක් ඇති මිනිසෙකි. මොහු අබ්සලොම්ට පසු ව උපන්නේ ය.</verse>
				<verse number="7">ඔහු ශෙරුයාගේ පුත් ජෝවාබ් සහ අබියාතර් නමැති පූජකවරයා සමඟ සම්මන්ත්‍රණය කෙළේ ය. මොවුහු ද අදොනියාට පක්ෂ වී ඔහුට උපකාර කළෝ ය.</verse>
				<verse number="8">එහෙත්, ශාදොක් පූජකවරයා ද ජෙහෝයාදාගේ පුත් බෙනායා ද දිවැසිවර නාතාන් ද ෂිමෙයි සහ රේයි යන අය ද දාවිත්ගේ ආරක්ෂක පිරිස ද අදොනියා සමඟ නො වූ හ.</verse>
				<verse number="9">අදොනියා ඒන්-රොගෙල් නම් ස්ථානය ළඟ තිබෙන සොහෙලෙත් නම් නාග පර්වතය අසල බැටළුවන් ද හරකුන් ද තර වස්සන් ද මරා, රාජ කුමාරයන් වන ස්වකීය සහෝදරයන් ද රජුගේ සේවකයන් වන ජුදා ගෝත්‍රයේ සියලු මිනිසුන් ද කැඳවී ය.</verse>
				<verse number="10">එහෙත්, ඔහු දිවැසිවර නාතාන් ද බෙනායා ද ආරක්ෂක පිරිස ද ස්වකීය සහෝදර සලමොන් ද කැඳෙව්වේ නැත.</verse>
				<verse number="11">එවිට නාතාන් සලමොන්ගේ මව වන බැත්-ෂෙබාට කතා කොට, “අපේ ස්වාමීන් වන දාවිත් රජ නොදැනුවත් ව හග්ගිත්ගේ පුත් අදොනියා රජ වී සිටින බව ඔබට සැළ නොවී ද?</verse>
				<verse number="12">එබැවින් දැන් එන්න, ඔබේ ජීවිතයත්, ඔබ පුත් සලමොන්ගේ ජීවිතයත් ඔබ ආරක්ෂා කරගන්න පිණිස ඔබට දැනුමැතිකමක් දීමට මට අවසර දෙන්න.</verse>
				<verse number="13">ඔබ ගොස් දාවිත් රජු ළඟට පැමිණ, ඔහු අමතා, ‘මාගේ ස්වාමීන් වන රජතුමෙනි, සැබැවින් ම ඔබ පුත් සලමොන් මට පසු ව රජ වී ඔහු මාගේ සිහසුන අරා හිඳගන්නේ ය, කියා ඔබේ දාසී හට ඔබ දිවුරුම් දුන්නා නොවේ ද? එසේ නම්, අදොනියා රජ වී සිටින්නේ මන්දැ’යි ඔහුගෙන් අසන්න.</verse>
				<verse number="14">ඔබ එහි රජතුමා සමඟ කතා කරන විට මම ද ඔබට පසු ව පැමිණ ඔබේ වචන ස්ථීර කරන්නෙමි”යි කීවේ ය.</verse>
				<verse number="15">බැත්-ෂෙබා සයනාගාරයේ සිටි රජතුමා ළඟට ගියා ය. රජ තෙම ඉතා මහලු ව සිටියේ ය. ෂුනම්මීය අබිෂග් නම් තරුණිය රජතුමාට ආවතේව කරමින් සිටියා ය.</verse>
				<verse number="16">බැත්-ෂෙබා නැමී රජුට ආචාර කළා ය. රජතුමා, “ඔබට කුමක් උවමනා දැ”යි ඇසූ විට,</verse>
				<verse number="17">ඈ එතුමාට පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීනි, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔබේ දාසී හට ඔබ දිවුරමින්, ‘සැබැවින් ම ඔබේ පුත් සලමොන් මට පසු ව රජ වී මාගේ සිහසුන අරා හිඳගන්නේ ය’යි කීවෙහි ය.</verse>
				<verse number="18">එහෙත්, දැන් අදොනියා කුමරු රජ වී සිටියි. මාගේ ස්වාමීන් වන රජතුමෙනි, ඔබ එය නොදන්නෙහි ය.</verse>
				<verse number="19">තවද, ඔහු හරකුන් ද තර වස්සන් ද බැටළුවන් ද බොහෝ‍ ගණනක් මරා, රජ කුමරුන් සියලු දෙනා ද පූජක අබියාතර් ද සේනාපති ජෝවාබ් ද කැඳෙව්වේ ය. එහෙත්, ඔහු ඔබ සේවකයා වන සලමොන් කැඳෙව්වේ නැත.</verse>
				<verse number="20">ඉතින්, මාගේ ස්වාමීන් වන රජතුමෙනි, ඔබට පසු ව මාගේ ස්වාමීන් වන රජතුමාගේ සිහසුන අරා හිඳගත යුත්තේ කවරෙක් දැ යි ඔබ ඉශ්රායෙල්වරුන්ට දැන්විය යුතු ය කියා ඔව්හු සියල්ලෝ බලා සිටිති.</verse>
				<verse number="21">එසේ නොකළොත්, මාගේ ස්වාමීන් වන රජතුමා මියගිය පසු මා ද මාගේ පුත්‍ර සලමොන් ද වරදකාරයන් වනු ඇතැ”යි කීවා ය.</verse>
				<verse number="22">තවද, ඈ මෙසේ රජු සමඟ කතා කරද්දී ම දිවැසිවර නාතාන් ඇතුළට පැමිණියේ ය.</verse>
				<verse number="23">“දිවැසිවර නාතාන් පැමිණ සිටී”යි රජතුමාට දැන්වූ කල ඔහු රජු ඉදිරියට අවුත් මුණින්තළා වී රජුට වැන්දේ ය.</verse>
				<verse number="24">නාතාන් කතා කොට, “මාගේ ස්වාමීන් වන රජතුමෙනි, ‘අදොනියා කුමරු මට පසු ව රජ වී මාගේ සිහසුන අරා හිඳගත යුතු ය’යි ඔබ කීවෙහි ද?</verse>
				<verse number="25">මන්ද, ඔහු අද ගොස් හරකුන් ද තර වස්සන් ද බැටළුවන් ද බොහෝ‍ ගණනක් මරා, රජ කුමරුන් සියලු දෙනා ද ඔබේ හමුදා සෙන්පති ජෝවාබ් ද පූජක අබියාතර් ද කැඳෙව්වේ ය. ඔව්හු ඔහු ඉදිරියෙහි ආහාර පාන වළඳා, ‘අදොනියා රජු සැරදේ’ කියා කියති.</verse>
				<verse number="26">එහෙත්, ඔහු ඔබේ මෙහෙකරු වන මා ද පූජක ශාදොක් ද ජෙහෝයාදාගේ පුත් බෙනායා ද ඔබේ මෙහෙකරු වූ සලමොන් ද කැඳෙව්වේ නැත.</verse>
				<verse number="27">මාගේ ස්වාමීන් වන රජතුමාට පසු ඔබ සිහසුන අරා හිඳගත යුත්තේ කවරෙක් ද කියා ඔබේ මෙහෙකරුවන්ට නොදන්වා ඔබ මේ දේ කෙළෙහි දැ”යි ඇසුවේ ය.</verse>
				<verse number="28">එවිට දාවිත් රජ උත්තර දෙමින්, “බැත්-ෂෙබා මා වෙත කැඳවාගෙන එන්නැ”යි කීවේ ය. ඈ රජු වෙත පැමිණ රජු ඉදිරියෙහි සිටියා ය.</verse>
				<verse number="29">එවිට රජ තෙම කතා කොට, “සියලු විපත්තිවලින් මාගේ ප්‍රාණය මිදූ ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන්,</verse>
				<verse number="30">‘ඔබේ පුත් සලමොන් මට පසු ව රජ වී මා වෙනුවට මාගේ සිහසුන අරා හිඳින්නේ ය’යි ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මා ඔබට දිවුරුම් දුන් ලෙස සැබැවින් ම අද දවසේ කරමි”යි දිවුළේ ය.</verse>
				<verse number="31">එවිට බැත්-ෂෙබා මුණින්තළා වී රජුට වැඳ, “දාවිත් රජතුමා සදහට ම ජීවත් වේ වා!”යි කීවා ය.</verse>
				<verse number="32">තවද, දාවිත් රජු, “ශාදොක් පූජකවරයාත්, නාතාන් දිවැසිවරයාත්, ජෙහෝයාදාගේ පුත් බෙනායාත් මා ළඟට කැඳවාගෙන එන්නැ”යි කී විට, ඔව්හු රජතුමා ඉදිරියට ආවෝ‍ ය.</verse>
				<verse number="33">රජ තෙම ඔවුන් අමතා, “ඔබේ ස්වාමීන්ගේ නිලධාරීන් කැඳවාගෙන, මා පුත් සලමොන් මාගේ ම කොටළුවා පිට නංවාගෙන ගීහොන් නමැති දිය උල්පත් ළඟට යන්න.</verse>
				<verse number="34">එහි දී ශාදොක් පූජකවරයා සහ නාතාන් දිවැසිවරයා ඔහු ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජ කොට අභිෂේක කරත් වා. ඔබ ද හොරණෑව පිඹ ‘සලමොන් රජ තෙම සැරදේ වා’යි කියන්න.</verse>
				<verse number="35">ඉන්පසු ඔහුට පිටුපසින් ඔබ ආ යුතු ය. ඔහු ද අවුත් මාගේ සිහසුන අරා හිඳගත යුතු ය. ඔහු මා වෙනුවට රජ වනු ඇත. ඔහු ඉශ්රායෙල්වරුන් ද ජුදාවරුන් ද කෙරෙහි අධිපතියා කොට පත් කෙළෙමි”යි කීවේ ය.</verse>
				<verse number="36">එවිට ජෙහෝයාදාගේ පුත් බෙනායා රජුට උත්තර දෙමින්, “එසේ ම වේ වා! මාගේ ස්වාමීන් වන රජතුමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ එසේ වදාරන සේක් වා!</verse>
				<verse number="37">සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමීන් වන රජතුමන් සමඟ වැඩසිටින ලෙස ම සලමොන් සමඟත් වැඩසිට ඔහුගේ සිහසුන මාගේ ස්වාමීන් වන දාවිත් රජතුමන්ගේ සිහසුනටත් වඩා උසස් කරන සේක් වා!”යි කීවේ ය.</verse>
				<verse number="38">මෙසේ ශාදොක් පූජකවරයා ද නාතාන් දිවැසිවරයා ද ජොහෝයාදාගේ පුත් බෙනායා ද කෙරෙතිවරු ද පෙලෙතිවරු ද ගොස්, දාවිත් රජුගේ කොටළුවා පිට සලමොන් නංවාගෙන ගීහොන් නම් ස්ථානයට පැමිණියහ.</verse>
				<verse number="39">ශාදොක් පූජකවරයා මණ්ඩපයෙන් තෙල් කුලාව රැගෙන ගොස් සලමොන් අභිෂේක කෙළේ ය. එවිට ඔව්හු හොරණෑව පිම්බෝ ය. මුළු සෙනඟ ද, “සලමොන් රජු සැරදේ වා”යි කීවෝ‍ ය.</verse>
				<verse number="40">මුළු සෙනඟ ඔහු පසුපස ගොස් නළා පිඹ, පොළොව පැළෙන තරම් වූ ඔවුන්ගේ ශබ්දයෙන් ඉමහත් ප්‍රීතියකින් ප්‍රීති ප්‍රමෝද වූ හ.</verse>
				<verse number="41">එවිට අදොනියා ද ඔහු සමඟ සිටි සියලු අමුත්තන් ද ආහාර අනුභව කොට අවසාන වනවාත් සමඟ ම ඔවුන්ට ඒ ශබ්දය ඇසිණි. ජෝවාබ් හොරණෑ ශබ්දය අසා, “නගරය දෙවනත් කරන මේ ඝෝෂාව කුමක් නිසා දැ”යි පිළිවිසී ය.</verse>
				<verse number="42">ඔහු කතා කරද්දී ම අබියාතර් පූජකවරයාගේ පුත් ජොනතන් පැමිණියේ ය. එවිට අදොනියා ඔහුට කතා කොට, “ඇතුළට එන්න, ඔබ අවංක මිනිසෙකි, ඔබ සුබ ආරංචි ගෙනෙනු ඇතැ”යි කීවේ ය.</verse>
				<verse number="43">ජොනතන් උත්තර දෙමින්, “නැත, අපේ ස්වාමීන් වන දාවිත් රජ තෙම සැබැවින් ම සලමොන් කුමරු රජකමට පත් කෙළේ ය.</verse>
				<verse number="44">තවද, රජ තෙම ඔහු සමඟ ශාදොක් පූජකවරයා ද නාතාන් දිවැසිවරයා ද ජෙහෝයාදාගේ පුත් බෙනායා ද කෙරෙතිවරුන් ද පෙලෙතිවරුන් ද යැව්වේ ය. ඔව්හු ඔහුට රජුගේ කොටළුවා පිට නැඟී යාමට සැලැස්සූ හ.</verse>
				<verse number="45">ඇරත්, ශාදොක් පූජකවරයා ද නාතාන් දිවැසිවරයා ද ගීහොන් නම් ස්ථානයේ දී ඔහු රජු වශයෙන් අභිෂේක කළෝ ය. ඉන්පසු ඔව්හු එතැනින් පිටත් ව අවුත් ප්‍රීති ප්‍රමෝද වූ හ. ඝෝෂාවෙන් නුවර රැව් පිළිරැව් දිනි. ඔබ සැමට ඇසුණු ඝෝෂාව ඒක ය.</verse>
				<verse number="46">තවද, සලමොන් රජ සිංහාසනය අරා හිඳින්නේ ය.</verse>
				<verse number="47">ඇරත්, රාජ නිලධාරීහු අපේ ස්වාමීන් වන දාවිත් රජු හට ආශීර්වාද කරන්නට පැමිණ, ‘දෙවියන් වහන්සේ සලමොන්ගේ නාමය ඔබේ නාමයට වඩා උසස් කර, ඔහුගේ සිංහාසනය ඔබේ සිංහාසනයට වඩා සෞභාග්‍යවත් කරන සේක් වා!’යි කීවෝ‍ ය. රජ තෙම ද යහනේ සිට නැමී ආචාර කෙළේ ය.</verse>
				<verse number="48">තවදුරටත් රජ තෙම කතා කරමින්, ‘මාගේ ඇස්වලින් දකින හැටියට අද මාගේ සිංහාසනයෙහි හිඳගැනීමට කෙනෙකු දුන් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා!’කියා කීවේ ය”යි අදොනියාට සැළ කෙළේ ය.</verse>
				<verse number="49">එවිට අදොනියා සමඟ සිටි අමුත්තෝ සියල්ලෝ ම බියපත් වී, නැඟිට එකිනෙකා තමතමන් කැමැති දෙසට යන්නට ගියෝ ය.</verse>
				<verse number="50">අදොනියා ද සලමොන් රජතුමාට බිය වී, නැඟිට ගොස් පූජාසනයේ කොන්වලින් නෙරා ගිය අං අල්ලාගත්තේ ය.</verse>
				<verse number="51">තවද, “ ‘සලමොන් රජු තම මෙහෙකරුවා කඩුවෙන් නොමරන ලෙස අද මට දිවුරුම් දිය යුතු ය’යි කියමින්, අදොනියා පූජාසනයේ කොන්වලින් නෙරා ගිය අං අල්ලාගෙන සිටී”යයි සලමොන් රජතුමාට දන්වන ලදී.</verse>
				<verse number="52">සලමොන් රජ තෙම ද, “ඔහු විශ්වාස මනුෂ්‍යයෙකු බව මට පෙනේ නම්, ඔහුගේ කෙස් ගහක් වත් බිම නොවැටෙන්නේ ය. එහෙත්, ඔහු දුෂ්ට කෙනෙකු බව පෙනේ නම්, ඔහු නසින්නේ ය”යි කීවේ ය.</verse>
				<verse number="53">එවිට සලමොන් රජ මිනිසුන් යවා ඔහු පූජාසනය ළඟින් ගෙන්වී ය. අදොනියා ද අවුත් නැමී රජතුමාට වැන්දේ ය. රජ තෙම ඔහුට කතා කොට, “ඔබේ ගෙදරට යන්නැ”යි කීවේ ය.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">දාවිත් රජතුමා නසින කාලය ආසන්න විය. ඔහු ස්වකීය පුත් සලමොන්ට මෙසේ අණ කෙළේ ය.</verse>
				<verse number="2">“කොයිකාටත් පොදු අන්තිම ගමන මම යමි. එබැවින් ඔබ ශක්තිමත් වී, වීරයෙකු මෙන් ක්‍රියා කරන්න.</verse>
				<verse number="3">ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ නියමයන් ඉටු කරමින්, දෙවි මඟ ගමන් කරන්න. ඔබ කරන සියල්ලේ දී ද ඔබ යන සෑම තැන්වල දී ද ඔබට ශුභසිද්ධිය සැලසෙන පිණිස මෝසෙස්ගේ නීති සංග්‍රහයේ සටහන් පරිදි උන් වහන්සේගේ ආඥා හා පණත් ද විනිශ්චයයන් හා ශික්ෂා පද ද පිළිපදින්න.</verse>
				<verse number="4">ඔබ එසේ කළොත්, සමිඳාණන් වහන්සේ මට වදාළ පරිදි, ‘ඔබේ දරුදැරියෝ තම තමන්ගේ මුළු හෘදයෙන් ද මුළු සිතින් ද මා ඉදිරියෙහි සත්‍යවාදී ව හැසිරෙන ලෙස තමන්ගේ ජීවන මාර්ගය ගැන බලාගන්නෝ නම්, ඉශ්රායෙල්වරුන්ගේ සිංහාසනය අරා හිඳීමට ඔබට කෙනෙක් නැති ව නොයන්නේ ය.’</verse>
				<verse number="5">“තවද, ශෙරුයාගේ පුත් ජෝවාබ් විසින් මට කරනු ලැබූ දේ එනම්, ඉශ්රායෙල් හමුදාවල සෙන්පතීන් දෙදෙනා වූ නේර්ගේ පුත් අබ්නේර්ටත්, ජෙතෙර්ගේ පුත් අමාසාටත් කළ දේ ඔබ දන්නෙහි ය. ඔහු ඔවුන් මරා, සාමය ඇති කාලයේ දී යුද්ධ ලේ වගුරුවා මාගේ ඉඟපටියෙහිත්, මාගේ පා වහන්වලත් යුද්ධ ලේ තැවරුවේ ය.</verse>
				<verse number="6">එබැවින් ඔබ ස්ථානෝචිත ප්‍රඥාව ඇතිව ක්‍රියා කරමින් ඔහුට මහලු වයසේ දී සැනසිල්ලෙන් මැරෙන්න ඉඩ නොදෙන්න.</verse>
				<verse number="7">“එහෙත්, ගිලියද් ජාතික බර්ශිල්ලයිගේ පුත්‍රයන් හට කරුණාව පෙන්වා, ඔවුන්ට ඔබේ මේසයෙන් ආහාර පාන අනුභව කරන්නට අවසර දෙන්න. මන්ද, ඔබේ සහෝදර වූ අබ්සලොම්ගෙන් මා පලා ගිය විට ඔව්හු එලෙස මා ළඟට පැමිණියෝ ය.</verse>
				<verse number="8">“තවද, බහුරීම් නම් නගරයේ බෙන්‍ජමින්ගේ ගෝත්‍රයේ ගේරාගේ පුත් ෂිමෙයි ඔබ ළඟ සිටියි. මා මහනයිම් නම් ස්ථානයට ගිය දවසේ දී ඔහු මට ඉතා තදින් සාප කෙළේ ය. එහෙත්, ඔහු ජොර්දාන් ගඟ අසල මා හමු වූ විට, මම ද, ‘ඔබ කඩුවෙන් නොමරන්නෙමි’යි සමිඳාණන් වහන්සේගේ නමින් දිවුළෙමි.</verse>
				<verse number="9">එහෙත්, ඔහුට දඬුවම් නොකර නාරින්න; ඔබ පැණවත් මිනිසෙකු බැවින් ඔහුට කළ යුතු දේ කුමක් දැ යි ඔබ දන්නෙහි ය. ඔහුගේ මහලු වයසේ දී ලේ වගුරුවා මැරෙන්න සලස්වන්න.”</verse>
				<verse number="10">මෙසේ කී පසු දාවිත් රජ මියගියේ ය. ඔහුගේ නගරයේ ඔහු භූමදාන කරන ලදී.</verse>
				<verse number="11">දාවිත් රජ තෙම ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකම් කළ කාලය අවුරුදු හතළිහකි. ඔහු හෙබ්‍රොන් නගරයේ හත් අවුරුද්දක් ද ජෙරුසලමෙහි තිස්තුන් අවුරුද්දක් ද රජකම් කෙළේ ය.</verse>
				<verse number="12">සලමොන් ද තම පිය දාවිත් රජුගේ සිංහාසනය අරා හිඳගත්තේ ය. ඔහුගේ රාජ්‍යය ද ස්ථීර ලෙස පිහිටුවන ලදී.</verse>
				<verse number="13">එකල හග්ගිත්ගේ පුත් අදොනියා සලමොන්ගේ මව වන බැත්-ෂෙබා ළඟට ආයේ ය. “ඔබ එන්නේ සාමදානයෙන් දැ”යි ඈ ඇසූ විට, ඔහු “සාමදානයෙන් ය”යි උත්තර දුන්නේ ය.</verse>
				<verse number="14">තවද ඔහු, “ඔබට කාරණයක් කියන්න මට තිබේ ය”යි කී විට, ඈ ද, “කියන්නැ”යි කීවා ය.</verse>
				<verse number="15">එවිට ඔහු කතා කරමින්, “රාජ්‍යය මට ලැබෙන්‍නට තිබුණු බවත්, මා රජකම් කරනු ඇත කියා සියලු ඉශ්රායෙල්වරුන් මා ගැන බලා සිටි බවත් ඔබ දන්නෙහි ය. එහෙත්, රජකම වෙනස් වී මාගේ සහෝදරයාට එය අත් විය. මන්ද, එය ඔහුට සමිඳාණන් වහන්සේගෙන් ලැබුණු බැවිනි.</verse>
				<verse number="16">ඉතින් මම එක දෙයක් ඔබෙන්‍ ඉල්ලමි. එය ප්‍රතික්ෂේප නොකරන්නැ”යි කීවේ ය. ඈ ද, “එය කියන්නැ”යි ඔහුට කීවා ය.</verse>
				<verse number="17">ඔහු ද, “ෂුනම්මීය අබිෂග් නම් කාන්තාව මට බිරිඳ කොට දෙන ලෙස සලමොන් රජු හට කරුණාකර කතා කළ මැනව. රජ තෙම ඔබේ ඉල්ලීම ඉෂ්ට නොකර නොසිටින්නේ ය”යි කීවේ ය.</verse>
				<verse number="18">බැත්-ෂෙබා ද, “හොඳයි, ඔබ උදෙසා මම ඔහුට කතා කරන්නෙමි”යි උත්තර දුන්නා ය.</verse>
				<verse number="19">එබැවින් බැත්-ෂෙබා අදොනියා උදෙසා සලමොන් රජුට කතා කරන්නට ඔහු ළඟට ගිය විට, රජ තෙම ද ඈ හමු වීමට නැඟිට, ඈට ආචාර කර තම සිංහාසනය අරා හිඳගත්තේ ය. රජුගේ මවටත් ආසනයක් තබන්නට සැලැස්සුවේ ය. ඈ ඔහුගේ දකුණෙන් හිඳගත්තා ය.</verse>
				<verse number="20">එවිට ඈ, “මම එක සුළු ඉල්ලීමක් ඔබෙන්‍ ඉල්ලමි. එය නොදී නොසිටිය මැනව”යි කී විට, රජ ද, “මාගේ මෑණියනි, ඉල්ලන්න. මම එය ඔබට නොදී සිටින්නේ නැතැ”යි ඈට කීවේ ය.</verse>
				<verse number="21">එවිට ඈ, “ෂුනම්මීය අබිෂග් ඔබේ සහෝදරයා වන අදොනියාට බිරිඳ කොට දෙනු ලැබේ වා!”යි කීවා ය.</verse>
				<verse number="22">සලමොන් උත්තර දෙමින්, “ඔබ අදොනියා උදෙසා ෂුනම්මීය අබිෂග් නම් කාන්තාව ඉල්ලන්නේ මන් ද? රජකමත් ඔහු උදෙසා ඉල්ලන්න. මන්ද, ඔහු මාගේ වැඩිමහල් සහෝදරයා ය. පූජක අබියාතර් සහ ශෙරුයාගේ පුත් ජෝවාබ් ද ඔහුගේ පැත්ත ගෙන තිබෙන්නේ ය”යි තම මවට කීවේ ය.</verse>
				<verse number="23">එවිට සලමොන් රජ ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමින්, “අදොනියා පැවසූ මේ වචන නිසා ඔහු මරණ පත් නොවන්නේ නම්, දෙවියන් වහන්සේ මට දැඩි ලෙස දඬුවම් දෙන සේක් වා!</verse>
				<verse number="24">මා රජකමෙහි පිහිටෙවු, මාගේ පියා වන දාවිත්ගේ සිංහාසනය අරා මා අසුන් ගැන්වූ, තමන් වහන්සේ පොරොන්දු වූ ලෙස මට වංශයක් උපදවා දුන් ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් අදොනියා අද දවසෙහි මරනු ලබනු ඇත කියා දිවුරමි”යි කීවේ ය.</verse>
				<verse number="25">මෙසේ කියා සලමොන් රජ ජෙහෝයාදාගේ පුත් බෙනායා යැවී ය. ඔහු අදොනියාට පහර දී මැරුවේ ය.</verse>
				<verse number="26">තවද, සලමොන් රජ අබියාතර් පූජකයාට කතා කොට, “අනාතොත්හි තිබෙන ඔබේ ම ඉඩමට යන්න. ඔබ මරණයට සුදුස්සෙකි. එහෙත්, ඔබ මාගේ පිය වූ දාවිත් රජු ඉදිරියෙහි දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉසුලූ බැවින් ද මාගේ පියා දැරූ සියලු දුක්වල දී ඔබත් දුක් වින්ද බැවින් ද මේ වතාවේ මම ඔබ නොමරමි”යි කී ය.</verse>
				<verse number="27">මෙසේ කියා ෂිලෝහි දී ඒලීගේ වංශය ගැන සමිඳාණන් වහන්සේ වදාළ වචනය සම්පූර්ණ වන ලෙස, සලමොන් උන් වහන්සේගේ පූජක ධුරයෙන් අබියාතර් පහකෙළේ ය.</verse>
				<verse number="28">ඒ ආරංචිය ජෝවාබ්ට සැළ විය. මන්ද, ජෝවාබ් අබ්සලොම් අනුව නොගිය නමුත්, අදොනියා අනුව ගිය බැවින්, ඔහු සමිඳාණන් වහන්සේගේ මණ්ඩපයට පලා ගොස් පූජාසනයේ කොන්වලින් නෙරා ගිය අං අල්ලාගත්තේ ය.</verse>
				<verse number="29">ජෝවාබ් සමිඳාණන් වහන්සේගේ මණ්ඩපයට පලා ගිය බව ද ඔහු පූජාසනය ළඟ සිටින්නේ ය කියා ද සලමොන් රජුට දන්වන ලදී. ඔහු ද ජෝවාබ් වෙත පණිවුඩයක් යවමින්, “ඔබ කුමක් නිසා පූජාසනයට පලා ගියේ දැ”යි ඇසූ විට, “මම ඔබට බියෙන් සමිඳාණන් වහන්සේ වෙත පලා ගියෙමි”යි ජෝවාබ් උත්තර දුන්නේ ය. එවිට රජ තෙම, “ඔබ ගොස් ඔහු මරන්නැ”යි ජෙහෝයාදාගේ පුත් බෙනායා යැවී ය.</verse>
				<verse number="30">බෙනායා සමිඳාණන් වහන්සේගේ මණ්ඩපයට ඇතුළු වී, “පිටතට එන්න කියා රජ තෙම කියන්නේ ය”යි ඔහුට කී ය. “මම නො එමි, මම මෙතැන ම නසින්නෙමි”යි ඔහු කී විට, බෙනායා ගොස්, ජෝවාබ් එලෙස පිළිතුරු දුන්නේ යයි රජුට කීවේ ය.</verse>
				<verse number="31">එවිට රජ බෙනායාට කතා කොට, “ඔහු කී ලෙස ඔහුට පහර දී මරා භූමදාන කරන්න. එසේ කිරීමෙන් ජෝවාබ් නිකරුණේ වගුළ ලේ මා කෙරෙන් ද මාගේ පියාගේ වංශයෙන් ද ඔබ පහකරනු ඇත.</verse>
				<verse number="32">ඔහු තමාට වඩා ධර්මිෂ්ඨ, වඩා යහපත් මිනිසුන් දෙදෙනෙකු එනම්, නේර්ගේ පුත් ඉශ්රායෙල් සේනාවට අධිපති අබ්නේර්ට ද ජෙතෙර්ගේ පුත් ජුදා සේනාවට අධිපති අමාසාට ද පහර දී, මාගේ පිය වූ දාවිත් රජතුමාට නොදැනුවත් ව ඔවුන් කඩුවෙන් මරාදැමූ බැවින්, සමිඳාණන් වහන්සේ ඔහුගේ ලේ ඔහුගේ ම හිස පිට මෙසේ ආපසු පමුණුවනු ඇත.</verse>
				<verse number="33">ඔවුන්ගේ ලේ ජෝවාබ්ගේ හිස පිට ද ඔහුගේ පෙළපතේ අයගේ හිස් පිට ද සදහට ම ආපසු පැමිණෙන්නේ ය. එහෙත්, දාවිත් රජ හට ද ඔහුගේ පෙළපතට ද ඔහුගේ රාජ වංශයට ද සිංහාසනයට ද සමිඳාණන් වහන්සේගෙන් සදහට ම සාමදානය වන්නේ ය”යි කීවේ ය.</verse>
				<verse number="34">එවිට ජෙහෝයාදාගේ පුත් බෙනායා ගොස් ඔහුට පහර දී, ඔහු මරාදැමූ පසු පාළුකරයෙහි තිබුණු ඔහුගේ ම ගෙයි ඔහු භූමදාන කරනු ලැබී ය.</verse>
				<verse number="35">ඉන්පසු රජ තෙම ඔහු වෙනුවට සේනාවේ අධිපති කොට ජෙහෝයාදාගේ පුත් බෙනායා ද අබියාතර් වෙනුවට පූජක ශාදොක් ද පත් කෙළේ ය.</verse>
				<verse number="36">තවද, රජ තෙම ෂිමෙයිට පණිවුඩයක් යවා ඔහු කැඳවා, “ඔබ ජෙරුසලමෙහි ගෙයක් සාදාගෙන එහි වාසය කරන්න. එතැනින් කොතැනට වත් නොයන්න.</verse>
				<verse number="37">ඔබ පිටතට ගොස් කිද්‍රොන් ඔයෙන් එතෙර වන දවසේ දී ඔබ නසිනවා ම ඇතැ යි දැනගන්න. ඇරත්, ඔබේ මරණය සම්බන්ධ ව ඔබ ම වැරදිකරු වනු ඇතැ”යි ඔහුට කීවේ ය.</verse>
				<verse number="38">ෂිමෙයි ද, “ඒ කීම යහපත, මා ස්වාමීන් වන රජතුමා කී ලෙස ම ඔබේ මෙහෙකරුවා කම කරන්නේ ය”යි රජුට කීවේ ය. එසේ ෂිමෙයි ජෙරුසලමෙහි බොහෝ‍ කාලයක් විසුවේ ය.</verse>
				<verse number="39">එහෙත්, තුන් අවුරුද්දකට පසු ෂිමෙයිගේ වහල්ලු දෙදෙනෙක් ගාත් නම් ස්ථානයෙහි රජු වන මයකාගේ පුත් ආකීෂ් වෙත පලා ගියෝ ය. එවිට, “ඔබේ වහල්ලු ගාත්හි සිටිති”යි ෂිමෙයිට දන්වන ලදී.</verse>
				<verse number="40">ෂිමෙයි නැඟිට තම කොටළුවාට සෑදලය යොදා තම වහලුන් සොයන්නට ගාත්හි ආකීෂ් වෙත ගියේ ය. මෙසේ ෂිමෙයි ගොස් ගාත්හි සිටි තම වහලුන් ගෙනාවේ ය.</verse>
				<verse number="41">ෂිමෙයි ජෙරුසලමෙන් ගාත් නුවරට ගොස් ආපසු ආ බව සලමොන් රජු හට දන්වන ලදී.</verse>
				<verse number="42">එවිට ඔහු ෂිමෙයි වෙත පණිවුඩයක් යවා ඔහු කැඳවා, ඔහුට කතා කොට, “ ‘ඔබ කොහේ නමුත් පිටතට ගිය දවසේ දී නසිනවා ම ඇතැ යි දැනගන්න’ කියා, මා ඔබට සහතික කොට ඔබ සමිඳාණන් වහන්සේගේ නම කියා දිවුරෙවුවා නොවේ ද? ඔබ ද, ‘මා ඇසූ කීම යහපතැ’යි මට කීවෙහි ය.</verse>
				<verse number="43">ඉතින්, ඔබ සමිඳාණන් වහන්සේගේ නම කියා කළ දිවුරුමත්, මා ඔබට අණ කළ නියෝගයත් රක්ෂා නොකෙළේ මන්දැ”යි ඔහුගෙන් ඇසී ය.</verse>
				<verse number="44">තවදුරටත් රජ තෙම ෂිමෙයිට කතා කරමින්, “ඔබ මාගේ පිය වූ දාවිත්ට කළ සියලු දුෂ්ටකම් ඔබ ඉතා හොඳින් දන්නෙහි ය. එබැවින්, සමිඳාණන් වහන්සේ ඔබේ හිස පිට ඔබේ දුෂ්ටකම ආපසු හරවන සේක.</verse>
				<verse number="45">එහෙත්, සලමොන් රජ තෙම ආශීර්වාද ලබන්නේ ය. දාවිත් රජුගේ සිංහාසනය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සදහට ම පිහිටුවනු ලබන්නේ ය”යි කීවේ ය.</verse>
				<verse number="46">මෙසේ රජ තෙම ජෙහෝයාදාගේ පුත් බෙනායාට අණ කළ පසු, ඔහු පිටතට ගොස් ෂිමෙයිට පහර දී මැරුවේ ය. රජකම සලමොන් අත ස්ථීර විය.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">තවද, සලමොන් රජු මිසරයේ රජු වන පාරාවෝ‍ගේ දුව සරණ පාවාගෙන, පාරාවෝ‍ සමඟ ගිවිසුමක් කරගත්තේ ය. ස්වකීය මාලිගයත්, සමිඳාණන් වහන්සේගේ මන්දිරය හා ජෙරුසලම වටකර පවුරත් ගොඩනඟා නිම කරන තුරු, ඔහු ඇය දාවිත් රජුගේ නුවරට ගෙනාවේ ය.</verse>
				<verse number="2">ඒ කාලය වන තුරු සමිඳාණන් වහන්සේගේ නාමයට කිසි මන්දිරයක් ගොඩනඟා නොතිබුණු බැවින් සෙනඟ ගිරිකුළුවල පූජා ඔප්පු කළෝ ය.</verse>
				<verse number="3">සලමොන් තම පිය වූ දාවිත්ගේ නියෝග ලෙස හැසිර සමිඳාණන් වහන්සේට ප්‍රේම කෙළේ ය. තවද, ඔහු කඳු මත පූජාස්ථානවල පූජා සහ සුවඳ දුම් ඔප්පු කෙළේ ය.</verse>
				<verse number="4">ගිබියොන් ප්‍රධාන කඳු මත පූජාස්ථාන වූ බැවින් පූජා ඔප්පු කරන පිණිස රජ එතැනට ගියේ ය. සලමොන් ඒ පූජාසනය පිට දවන යාග පූජා දහසක් පුද කෙළේ ය.</verse>
				<verse number="5">ගිබියොන්හි දී සමිඳාණන් වහන්සේ රාත්‍රියේ ස්වප්නයකින් සලමොන්ට දර්ශනය වූ සේක. තවද, දෙවියන් වහන්සේ කතා කොට, “මා නුඹට දිය යුතු දෙය ඉල්ලන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="6">සලමොන් කතා කොට, “ඔබේ දාසයා වූ මාගේ පිය වූ දාවිත් ඔබ ඉදිරියෙහි සත්‍යවාදී ව ද ධර්මිෂ්ඨකමින් ද ඔබ සමඟ සිතේ අවංකකමින් ද හැසුරුණු පරිද්දෙන් ඔබ ඔහුට මහා කරුණාවක් පෙන්වූ සේක. තවද, අද තිබෙන හැටියට ඔහුගේ සිංහාසනය අරා හිඳින්න ඔහුට පුත්‍රයෙකු දීමෙන් මේ මහා කරුණාව නොනවත්වා පෙන්වූ සේක.</verse>
				<verse number="7">දැනුදු මාගේ දෙවි සමිඳුනි, ඔබ මාගේ පිය වූ දාවිත් වෙනුවට ඔබේ දාසයා රජ කොට පත් කළ සේක. මම ළා බාල කෙනෙක්මි, රට පාලනයේ දක්ෂකමක් මට නැත.</verse>
				<verse number="8">ගණන් කළ නොහැකි අසංබ්‍ය සමූහයක් වන ඔබ විසින් තෝරාගනු ලැබූ ඔබේ සෙනඟ මැද ඔබේ දාසයා සිටියි.</verse>
				<verse number="9">එබැවින් ඔබේ මේ සෙනඟ විනිශ්චය කරන පිණිස, හොඳ නරක දැනගන්න පුළුවන් වන ලෙස ඥානවන්ත සිතක් ඔබේ දාසයාට දුන මැනව, මන්ද, ඔබේ මේ මහා සෙනඟ විනිශ්චය කරන්න කවරෙකුට පුළුවන් දැ”යි කීවේ ය.</verse>
				<verse number="10">සලමොන් මේ දේ ඉල්ලූ නිසා සමිඳාණන් වහන්සේ ඊට ප්‍රසන්න වූ සේක.</verse>
				<verse number="11">දෙවියන් වහන්සේ කතා කොට, “නුඹ දීර්ඝායුෂ ඉල්ලන්නේ වත් ධන සම්පත් ඉල්ලන්නේ වත්, නුඹේ සතුරන්ගේ ජීවිතය ඉල්ලන්නේ වත් නැති ව විනිශ්චය තේරුම්ගැනීමට ඥානය ඉල්ලූ බැවින්,</verse>
				<verse number="12">බලන්න, මම නුඹේ ඉල්ලීම ලෙස ඉටු කරමි. නුඹට සමාන කෙනෙකු නුඹට පළමුවෙන් සිටියේ වත්, නුඹට පසු ව සිටින්නේ වත් නැති වන ලෙස තියුණු නැණනුවණ නුඹට දෙමි.</verse>
				<verse number="13">ඇරත්, නුඹේ මුළු කාලයේ දී රජවරුන් අතරේ නුඹට සමාන කෙනෙකු නොවන ලෙස ධනය ද ගෞ‍රවය ද යන නුඹ නොඉල්ලූ දේත් නුඹට දෙමි.</verse>
				<verse number="14">තවද, නුඹේ පිය වූ දාවිත් හැසුරුණ පරිදි නුඹ මාගේ ආඥා ද පණත් ද රක්ෂා කරමින් මාගේ මාර්ගවල හැසිරෙන්නෙහි නම්, නුඹේ ආයුෂ ද වැඩිකරන්නෙමි”යි ඔහුට වදාළ සේක.</verse>
				<verse number="15">සලමොන් පිබිද දෙවියන් වහන්සේ ස්වප්නයක් මඟින් කතා කළ බව දැන ගත්තේ ය. ඔහු ජෙරුසලමට අවුත් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සිට දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කෙළේ ය. තමාගේ සියලු සේවකයන්ට මංගල්‍යයක් ද පිළියෙළ කොට දුන්නේ ය.</verse>
				<verse number="16">එකල වේශ්‍යා ස්ත්‍රීහු දෙදෙනෙක් රජු ළඟට අවුත් ඔහු ඉදිරියෙහි සිටියෝ ය.</verse>
				<verse number="17">එක ස්ත්‍රියක් කතා කොට, “අනේ, රජතුමෙනි, මේ ස්ත්‍රීත්, මමත් එක ගෙයක වාසය කෙළෙමු. ඒ ගෙදර ම ඈ සමඟ සිටිය දී මම දරුවෙකු ලැබුවෙමි.</verse>
				<verse number="18">තවද, මා දරුවා ලබා තුන් දිනකට පසු මේ ස්ත්‍රී ද දරුවෙකු ලැබුවා ය. අපි එකට සිටියෙමු. ගෙයි අප දෙදෙන හැර කිසිවෙකු අප සමඟ එහි සිටියේ නැත.</verse>
				<verse number="19">මේ ස්ත්‍රියගේ දරුවා රාත්‍රියේ දී ඇගේ ඇඟට යට වීමෙන් මළේ ය.</verse>
				<verse number="20">ඈ මධ්‍යම රාත්‍රියෙහි නැඟිට, ඔබේ මෙහෙකාරී නිදාගෙන සිටිය දී, මාගේ පුත්‍රයා මා ළඟින් රැගෙන ඇගේ ළයෙහි තබාගෙන, ඇගේ මළ දරුවා මාගේ ළයෙහි තැබුවා ය.</verse>
				<verse number="21">උදය මාගේ දරුවාට කිරි දෙන්න නැඟුටුණු විට ඔහු මැරී උන් බව දිටිමි. එහෙත්, මා උදේ ඔහු දෙස හොඳින් බැලූ විට මා ලැබූ පුත්‍රයා නොවන බව දැනගතිමි”යි කීවා ය.</verse>
				<verse number="22">අනික් ස්ත්‍රී ද, “එසේ නොව, ජීවත් ව සිටින පුත්‍රයා මාගේ ය; මළ පුත්‍රයා ඔබේ ය”යි කීවා ය. මැය ද, “නැත, මළ පුත්‍රයා ඔබේ ය; ජීවත් ව සිටින පුත්‍රයා මාගේ ය”යි කීවා ය. මෙසේ ඔව්හු දෙදෙන රජු ඉදිරියෙහි විවාද කළෝ ය.</verse>
				<verse number="23">එවිට රජ කතා කොට, “එක් තැනැත්තියක්, ‘මේ ජීවත් ව සිටින පුත්‍රයා මාගේ ය; මළ පුත්‍රයා ඔබේ ය’ කියාත්, අනික් තැනැත්තිය, ‘නැත, මළ පුත්‍රයා ඔබේ ය, ජීවත් ව සිටින පුත්‍රයා මාගේ ය’ කියාත් කියති.</verse>
				<verse number="24">කඩුවක් මෙහි ගෙනෙන්නැ”යි කීවේ ය. රජු ඉදිරියට කඩුවක් ගෙනෙන ලදී.</verse>
				<verse number="25">එවිට රජ කතා කොට, “ජීවත් ව සිටින දරුවා දෙකට කපා බාගයක් එක් තැනැත්තියකටත්, බාගයක් අනික් තැනැත්තියටත් දෙන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="26">එවිට ජීවත් ව සිටින දරුවාගේ මවගේ හෘදය ඇගේ පුත්‍රයා කෙරෙහි අනුකම්පාවෙන් දැවී ගිය බැවින්, ඈ රජුට කතා කොට, “අනේ, මාගේ ස්වාමීනි, ජීවත් ව සිටින දරුවා ඈට දෙන්න, මරන්න නම් එපා යැ”යි කීවා ය. එහෙත්, අනික් තැනැත්තී, “ඒ දරුවා මට වත්, ඔබට වත් නොවේ වා, ඔහු දෙකට කපන්නැ”යි කීවා ය.</verse>
				<verse number="27">එවිට රජ උත්තර දෙමින්, “ජීවත් ව සිටින දරුවා මරන්නට එපා, අර තැනැත්තියට දෙන්න. ඈ ඔහුගේ මව ය”යි කීවේ ය.</verse>
				<verse number="28">රජු විසින් කරන ලද විනිශ්චය සියලු ඉශ්රායෙල්වරු අසා, යුක්තිය විසඳීමට දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඔහු තුළ තිබෙන බව දැක රජු කෙරෙහි බිය වූවෝ‍ ය.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">සලමොන් රජ සියලු ඉශ්රායෙල්වරුන්ට රජ ව සිටියේ ය.</verse>
				<verse number="2">ඔහුගේ උසස් නිලධාරීහු මොවුහු ය. ශාදොක්ගේ පුත් අශරියා පූජකයා ය;</verse>
				<verse number="3">ෂිෂාගේ පුත්‍රයන් වන එලිහොරෙප් සහ අහියා ලේකම්වරු ය; අහිලුද්ගේ පුත් ජෙහෝෂාපාට් වාර්තාකරු ය;</verse>
				<verse number="4">ජෙහෝයාදාගේ පුත් බෙනායා සේනාපතියා ය; ශාදොක් සහ අබියාතර් පූජකවරු ය;</verse>
				<verse number="5">නාතාන්ගේ පුත් අශරියා ප්‍රාදේශිය ආණ්ඩුකාරයන්ගේ පාලකයා ය; නාතාන්ගේ පුත් පූජක සාබුද් රාජකීය පුරෝහිතයා ව සිටියේ ය.</verse>
				<verse number="6">අහිෂාර් වනාහි රජ ගෙදර ප්‍රධානියා ය. අබ්දාගේ පුත් අදොනිරාම් රාජකාරියේ මුලාදෑනියා ය.</verse>
				<verse number="7">රජුටත්, ඔහුගේ ගෘහවාසීන්ටත් ආහාර සපයන පිණිස සලමොන් රජ නිලධාරීන් දොළොස්දෙනෙකු සියලු ඉශ්රායෙල්වරුන් කෙරෙහි පත් කෙළේ ය. එකිනෙකා අවුරුද්දකට මාසයක් බැගින් එසේ ආහාර සපයා දුන්නෝ ය.</verse>
				<verse number="8">ඔවුන්ගේ නාම මේ ය; එප්‍රායිම් කඳුකරයේ විසූ බෙන්‍-හුර් ය;</verse>
				<verse number="9">මාකශ්, ෂායාල්බිම්, බෙත්-ෂෙමෙෂ් සහ ඒලොන්‍-බෙත්-හානාන් යන නගරවල විසූ බෙන්‍-දෙකෙර් ය;</verse>
				<verse number="10">අරුබ්බෝත්හි බෙන්‍-හෙසෙද් ය; මොහුට සෝකෝව නුවර සහ මුළු හේපෙර් රට ද පැවරිණි.</verse>
				<verse number="11">දෝර් නම් මුළු කඳුකර පෙදෙසෙහි විසූ බෙන්‍-අබිනාදාබ් ය. ඔහුගේ භාර්යාව සලමොන්ගේ දුව වන තාපත් ය.</verse>
				<verse number="12">අහිලුද්ගේ පුත් බානාට තයනාක් සහ මෙගිද්දෝ යන නගර ද ශාරෙතාන් නගරය අසල ජෙශ්‍රෙයෙල් නම් නගරයට දකුණින් පිහිටි මුළු බෙත්-ෂෙයාන් පෙදෙස ද පැවරිණි. ඒ පෙදෙස බෙත්-ෂෙයාන් පටන් ආබෙල්-මෙහෝලා දක්වා ද ජොක්මෙයාම් නගරයට එහා සීමා දක්වා ද විහිදී තිබේ.</verse>
				<verse number="13">රාමොත්-ගිලියද්හි සිටි බෙන්‍-ගෙබර් ය; ගිලියද්හි සිටි මනස්සේගේ පුත් ජායීර්ගේ නගර ද පවුරු ද ලෝකඩ අගුල් ද ඇති මහා නගර හැටක් සහිත බාෂාන් නම් පෙදෙසෙහි අර්ගොබ් පළාත ඔහුට පැවරිණි.</verse>
				<verse number="14">මහනයිම් නගරයේ විසූ ඉද්දෝගේ පුත් අහිනාදාබ් ය.</verse>
				<verse number="15">නප්තලීගේ පෙදෙසෙහි විසූ අහීමයාශ් ය; ඔහු ද සලමොන් රජුගේ දුව වන බාසෙමත් භාර්යාව කොට පාවාගෙන තිබිණි.</verse>
				<verse number="16">ආෂෙර් පෙදෙසෙහි බෙයාලොත් නගරයේ විසූ හූෂයිගේ පුත් බානා ය.</verse>
				<verse number="17">ඉස්සාකර්ගේ පෙදෙසෙහි විසූ පරුවාගේ පුත්‍ර වන ජෙහෝෂාපාට් ය.</verse>
				<verse number="18">බෙන්‍ජමින්ගේ පෙදෙසෙහි විසූ ඒලාගේ පුත් ෂිමෙයි ය.</verse>
				<verse number="19">අමෝරිවරුන්ගේ රජ වූ සීහොන්ගේ ද බාෂාන්හි රජ වූ ඕග්ගේ ද දේශය වූ ගිලියද් දේශයෙහි විසූ උරීගේ පුත් ගෙබෙර් ය. ඒ දේශයෙහි සිටියේ එක නිලධාරියෙක් පමණ ය.</verse>
				<verse number="20">ජුදාවරු ද ඉශ්රායෙල්වරු ද මුහුදු වෙරළේ වැලි මෙන් ගණනින් අධික ව සිටියෝ ය. ඔව්හු කමින්බොමින් ප්‍රීතිවෙමින් පසු වූ හ.</verse>
				<verse number="21">සලමොන් රජ වනාහි යුප්‍රටීස් ගංගාවේ පටන් පිලිස්තිවරුන්ගේ දේශය සහ මිසරයේ දේශ සීමාව දක්වා සියලු රාජ්‍යයන් ආණ්ඩු කෙළේ ය. ඔව්හු කප්පම් ගෙනවුත් දී සලමොන් රජුගේ මුළු කාලය තුළ ඔහුට සේවය කළෝ ය.</verse>
				<verse number="22">දවසකට සලමොන් රජුගේ ආහාර මෙසේ ය. සිහින් පිටි ලීටර් පන්දහසකි. වෙන පිටි ලීටර් දසදහසකි.</verse>
				<verse number="23">මුවන් ද තිත් මුවන් ද තරු මුවන් ද තර කළ පක්ෂීන් ද හැර, තර හරක් දසදෙනෙකි, කෙතේ හරක් විසිදෙනෙකි, බැටළුවෝ‍ සියයකි.</verse>
				<verse number="24">ඔහු තිප්සා පටන් ගාසා දක්වා ම යුප්‍රටීස් ගංගාවෙන් මෙගොඩ තිබෙන මුළු දේශය ද මේ ගංගාවෙන් මෙගොඩ විසූ සියලු රජුන් ද පාලනය කෙළේ ය. ඔහු අවට සෑම දිශාවල සාමය පැවතිණි.</verse>
				<verse number="25">මොහුගේ මුළු කාලය තුළ දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා ජුදාවරු ද ඉශ්රායෙල්වරු ද එකිනෙකා තම තමාගේ මිදි වතු හා අත්තික්කා වතුවල අයිතිය භුක්ති විඳිමින් සුව සේ වාසය කළෝ ය.</verse>
				<verse number="26">සලමොන් රජුගේ රථවලට ගාල් සතළිස්දහසක අශ්වයෝ සිටියෝ ය; අසරුවෝ‍ දොළොස්දහසක් ද සිටියෝ ය.</verse>
				<verse number="27">ඒ නිලධාරීහු එකිනෙකා තම තමාට නියම මාසයේ දී සලමොන් රජුට ද ඔහුගේ කෑම මේසයට පැමිණි සියල්ලන්ට ද කිසිවක් අඩු වන්න ඉඩ නෑර ආහාර සපයා දුන්නෝ ය.</verse>
				<verse number="28">ඔව්හු එකිනෙකා තම තමාට නියම වී තිබුණු ලෙස රථ අදින අසුන්ටත්, බර අදින සතුන්ටත් යව සහ පිදුරු නියම ස්ථානයට ගෙනාවෝ‍ ය.</verse>
				<verse number="29">දෙවියන් වහන්සේ ඉමහත් ප්‍රඥාවත්, විචක්ෂණ බුද්ධියත්, මුහුදු වෙරළේ වැලි මෙන් පෘථුල ඥානයත් සලමොන් රජු හට දුන් සේක.</verse>
				<verse number="30">මොහුගේ ප්‍රඥාව පෙරදිග රටවල සියලු ජනතාවගේ ප්‍රඥාවත්, මිසරවැසියන්ගේ සියලු ප්‍රඥාවත් ඉක්මවා ගියේ ය.</verse>
				<verse number="31">මන්ද, ඔහු සියලු මිනිසුන්ට ද එස්රාහීය ජාතික ඒතාන්ට ද මාහොල් නමැත්තාගේ පුත්‍රයන් වන හේමන්ට ද කල්කොල්ට ද දර්දාට ද වඩා ප්‍රඥාවන්ත ව සිටියේ ය. ඔහුගේ කීර්තිය අවට සිටි සියලු ජාතීන් අතරේ පතළ වී ගියේ ය.</verse>
				<verse number="32">ඔහු උපදේශ වාක්‍ය තුන්දහසක් කීවේ ය. ඔහුගේ ගීතිකා එක්දාස් පහකි.</verse>
				<verse number="33">ඔහු ලෙබනොන් දේශයෙහි තිබෙන කිහිරි ගහ පටන් බිත්තියේ හටගන්න හිසොප් ගහ දක්වා වෘක්ෂලතා ගැන කතා කෙළේ ය. ඔහු මෘගයන් ද පක්ෂීන් ද උරගයන් ද මත්ස්‍යයන් ද ගැනත් කතා කෙළේ ය.</verse>
				<verse number="34">විවිධ ජාතීහු සලමොන්ගේ ප්‍රඥාව ඇසීමට පැමිණියෝ ය. ඔහුගේ ප්‍රඥාව ගැන ඇසූ පොළොවේ භූපතීන්ගෙන් ඔහු තෑගිබෝග ලැබුවේ ය.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">සලමොන් ඔහුගේ පිය රජුට පසු ව රජු වශයෙන් අභිෂේක කරනු ලැබූ බව තීර්හි රජ වූ හීරාම් අසා තමාගේ තානාපතීන් ඔහු වෙත එව්වේ ය. මන්ද, හීරාම් නිතර ම දාවිත් රජුගේ හිතමිතුරෙක් විය.</verse>
				<verse number="2">සලමොන් රජ ද හීරාම් වෙත පණිවුඩයක් යවමින්,</verse>
				<verse number="3">“සමිඳාණන් වහන්සේ මාගේ පිය වූ දාවිත්ගේ සතුරන් පරාජය කරන තෙක් හාත්පසින් තිබුණු යුද්ධ නිසා ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නට ඔහුට බැරි වූ බව ඔබ දන්නෙහි ය.</verse>
				<verse number="4">එහෙත්, දැන් මාගේ දෙවි සමිඳාණන් වහන්සේ හැම අතින් ම මට විවේකය දී තිබේ. එදිරිකාරයෙක් වත්, විපත්ති ගැන බියක් වත් මට නැත.</verse>
				<verse number="5">සමිඳාණන් වහන්සේ මාගේ පිය වූ දාවිත්ට කතා කොට, ‘නුඹ වෙනුවට නුඹේ සිංහාසනය පිට මා තබන නුඹේ පුත්‍රයා මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟනු ඇතැ’යි වදාළ හැටියට මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනඟන්නට මම අදහස් කරමි.</verse>
				<verse number="6">එබැවින් ලෙබනොන් දේශයෙන් කිහිරි ගස් කපා මට දෙන්න අණ කළ මැනව. මාගේ වැඩකාරයෝ ඔබේ වැඩකාරයන් සමඟ සිටින්නෝ ය. ඔබේ වැඩකාරයන්ගේ කුලී ඔබ කියන ප්‍රකාරයට ඔබට දෙන්නෙමි. මන්ද, සීදොන් නගරවාසීන් මෙන් ලී කපන්න දන්න අය අප අතර නැති බව ඔබ දන්නෙහි ය”යි කියා යැවී ය.</verse>
				<verse number="7">හීරාම් රජ සලමොන්ගේ වචනය අසා ඉතා ප්‍රීති වී, “ඒ ශ්‍රේෂ්ඨ ජාතිය ආණ්ඩු කරන පිණිස ප්‍රඥාවන්ත පුත්‍රයෙකු දාවිත්ට දුන් සමිඳාණන් වහන්සේට අද ප්‍රශංසා වේ වා!”යි කීවේ ය.</verse>
				<verse number="8">තවද, ඔහු සලමොන් වෙත පණිවුඩයක් යවමින්, “ඔබ මට කියා එවූ කාරණය ඇසීමි. කිහිරි ලී ගැන ද දේවදාර ලී ගැන ද ඔබේ මුළු කැමැත්ත ඉෂ්ට කරන්නෙමි.</verse>
				<verse number="9">මාගේ වැඩකාරයෝ ලෙබනොන් දේශයේ සිට මුහුද ළඟට ඒවා ගෙන එන්නෝ ය. මම ඒවා එක් කොට, පහුරු බඳවා ඔබ මට කියා එවන තැනකට මුහුදෙන් එවන්නෙමි. තවද, ඔබ ඒවා භාරගැනීම පිණිස එහි දී ඒවා ලිහන්න සලස්වන්නෙමි. ඔබ වනාහි මාගේ ගෙයි වැසියන්ට ආහාර දීමෙන් මාගේ කැමැත්ත ඉෂ්ට කරන්නෙහි ය”යි කියා එව්වේ ය.</verse>
				<verse number="10">මෙසේ හීරාම් රජ සලමොන්ගේ මුළු කැමැත්ත ලෙස කිහිරි ලී ද දේවදාර ලී ද ඔහුට දුන්නේ ය.</verse>
				<verse number="11">සලමොන් ද හීරාම්ගේ ගෙයි වැසියන්ට ආහාර පිණිස තිරිඟු මෙට්රික් ටොන් දෙදහසක් ද පිරිසිදු තෙල් ලීටර් ලක්ෂ හතරක් ද ඔහුට දුන්නේ ය. සලමොන් අවුරුදුපතා මෙසේ හීරාම්ට දුන්නේ ය.</verse>
				<verse number="12">සමිඳාණන් වහන්සේ සලමොන්ට පොරොන්දු වූ ලෙස ඔහුට ප්‍රඥාව දුන් සේක; හීරාම් සහ සලමොන් අතරේ සාමදානය පැවතුණේ ය. තවද, ඔව්හු දෙදෙනා එක් ව ගිවිසුමක් කර ගත්තෝ ය.</verse>
				<verse number="13">සලමොන් රජ සියලු ඉශ්රායෙල්වරුන් අතරෙන් රාජකාරියට මිනිසුන් බඳවාගත්තේ ය. එසේ බඳවාගත් මිනිස්සු තිස්දහසකි.</verse>
				<verse number="14">ඔහු මාසයකට දසදහසක් බැගින් මාරුවෙන් මාරුවට ඔවුන් ලෙබනොන් දේශයට යැවී ය. ඔව්හු එක මාසයක් ලෙබනොන්හි ද දෙමාසයක් ගෙදර ද සිටියෝ ය. අදොනිරාම් වනාහි රාජකාරියේ නිලධාරියා විය.</verse>
				<verse number="15">කඳුවල ගල් කැපීමට අසූදහසක් ද ඒ ගල් උසුලාගෙන යෑමට හැත්තෑදහසක් ද සෙනඟ සලමොන්ට සිටියෝ ය.</verse>
				<verse number="16">ඒ හැර වැඩ බලාගත්තා වූ, වැඩ කළ සෙනඟ පාලනය කළා වූ සලමොන්ගේ ප්‍රධාන නිලධාරීන්ගේ ගණන තුන්දහස් තුන්සියයක් විය.</verse>
				<verse number="17">කැපූ ගල්වලින් මාලිගාවේ අත්තිවාරම දමන පිණිස රජුගේ ආඥාව පිට විශාල වූ ද අනර්ඝ වූ ද ගල් ගෙනාවෝ‍ ය.</verse>
				<verse number="18">සලමොන්ගේ වඩුවෝ‍ ද හීරාම්ගේ වඩුවෝ‍ ද ගෙබලිවරු නම් ජනයා ද ඒවා කැපුවෝ‍ ය. මෙසේ දේව මාලිගාව තැනීමට ඔව්හු ලී දඬු ද ගල් ද සූදානම් කළෝ ය.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">තවද, ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පිටත් ව ආපසු පැමිණ හාරසිය අසූ වන අවුරුද්දේ එනම්, ඉශ්රායෙල්වරුන් කෙරෙහි සලමොන් රජකම් කිරීමට පටන්ගෙන සතර වන අවුරුද්දේ දෙ වන‍ මාසය වූ ශිව් මාසයේ දී ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන්නට පටන්ගත්තේ ය.</verse>
				<verse number="2">ඔහු සමිඳාණන් වහන්සේට ගොඩනැඟුවාවූ මාලිගාවේ දිග මීටර් විසිහතකි. පළල මීටර් නවයකි. උස මීටර් දහතුනයි දශම පහකි.</verse>
				<verse number="3">මාලිගාවේ ඉදිරියෙන් වූ ප්‍රවේශ ශාලාවේ දිග මාලිගාවේ පළල හැටියට ම මීටර් නවයක් ව ද එහි පළල මාලිගාව ඉදිරිපිට මීටර් හතරයි දශම පහක් ව ද තිබුණේ ය.</verse>
				<verse number="4">ඔහු මාලිගාවට ගරාදි සවිකරන ලද කවුළු සෑදුවේ ය.</verse>
				<verse number="5">ඔහු මාලිගාවත්, දිව්‍ය-වාක්‍යස්ථානයත් වටකර මාලිගාවේ බිත්ති වටේට, ඒවාට යා කර උඩුමහල් ගොඩනැඟී ය.</verse>
				<verse number="6">උඩුමහෙල් පහත ම තට්ටුවේ පළල මීටර් දෙකයි දශම දෙකකි. මැද එකේ පළල මීටර් දෙකයි දශම හතකි; තුන් වන එකේ පළල මීටර් තුනයි දශම එකකි. මාලිගාවේ බිත්තිවලට බාල්ක ඇතුළු නොකරන පිණිස පිටින් වටේට ම මාලිගාවේ බිත්තිවල තැනින් තැන පටු කළ කපොලු සෑදුවේ ය.</verse>
				<verse number="7">නියම කළ ප්‍රමාණයට ගල්වළෙහි දී කැපූ ගල්වලින් මාලිගාව ගොඩනැඟුව බැවින් මාලිගාව ගොඩනැඟීමේ දී මිටියක වත්, පොරවක වත්, වෙන කිසි යකඩ ආයුධයක වත් ශබ්දයක් නොඇසිණි.</verse>
				<verse number="8">මැද මහලට දොර ගෘහයේ දකුණු පැත්තෙන් විය. මැද මහලටත්, මැද මහලෙන් තුන් වන මහලටත් නඟින්නට දඟර සෝපාන මාලාවක් සාදා තිබුණේ ය.</verse>
				<verse number="9">මෙසේ ඔහු මාලිගාව තනා නිම කෙළේ ය. ඔහු මාලිගාව කිහිරි දැවවලින් ද ලෑලිවලින් ද වැසුවේ ය.</verse>
				<verse number="10">ඔහු මුළු මාලිගාවට යා කර මීටර් නවයක් බැගින් උස ඇති මහල් තල ගොඩනැඟුවේ ය. ඒවා කිහිරි ලීවලින් මාලිගාවට සවි කරන ලද්දේ ය.</verse>
				<verse number="11">සමිඳාණන් වහන්සේ සලමොන්ට කතා කොට,</verse>
				<verse number="12">“නුඹ ගොඩනඟන මේ ගෘහය ගැන මම මෙය කියමි: නුඹ මාගේ නීති අනුව හැසිර, මාගේ නියෝග ඉෂ්ට කර, මාගේ පණත් පවත්වමින්, ඒ ප්‍රකාර හැසිරෙන්නෙහි නම්, නුඹේ පිය වූ දාවිත්ට මා කී මාගේ වචනය නුඹට ඉෂ්ට කරන්නෙමි.</verse>
				<verse number="13">තවද, මාගේ සෙනඟ වන ඉශ්රායෙල් අත් නෑර ඉශ්රායෙල් ජනයා අතරෙහි වාසය කරන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="14">මෙසේ සලමොන් දේව මාලිගාව ගොඩනඟා නිම කෙළේ ය.</verse>
				<verse number="15">ඔහු මාලිගාවේ බිත්තිවල ඇතුළතින් කිහිරි ලෑලි ඇල්ලුවේ ය. මාලිගාවේ බිම පටන් පියස්සේ පැති දක්වා ඇතුළතින් දේවදාර ලීවලින් වැසුවේ ය.</verse>
				<verse number="16">ඔහු මාලිගාවේ ඇතුළේ අන්තිම කොටසෙන් මීටර් නවයක් දිගට බිම සිට සීලිම දක්වා කිහිරි ලෑලි අල්ලා, වෙන් කොට ඒ ඇතුළු කොටස දිව්‍ය-වාක්‍යස්ථානයක් වූ අතිශුද්ධස්ථානය කොට සෑදුවේ ය.</verse>
				<verse number="17">ඊට ඉදිරියෙන් වූ මාලිගාවේ ඉතුරු කොටස මීටර් දහඅටක් දික් විය.</verse>
				<verse number="18">මාලිගාවේ ඇතුළත කැකිරි වැල් ද පිපුණු මල් ද කැටයම් කළ කිහිරි ලීවලින් වසා තිබුණු බැවින්, මුළු මාලිගාව ම කිහිරි ලීයෙන් විය. කිසි ගලක් පෙනෙන්නට නොතිබිණි.</verse>
				<verse number="19">ඔහු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව තැබීමට ඇතුළතින් මාලිගාව තුළ දිව්‍ය-වාක්‍යස්ථානයක් පිළියෙළ කෙළේ ය.</verse>
				<verse number="20">ඇතුළතින් දිව්‍ය-වාක්‍යස්ථානයේ දිග මීටර් නවයකි; පළල මීටර් නවයකි; උස මීටර් නවයකි. ඔහු එහි පෙරූ රන් ගල්වා පූජාසනය කිහිරි ලීවලින් වැසුවේ ය.</verse>
				<verse number="21">මෙසේ සලමොන් මාලිගාවේ ඇතුළත පෙරූ රන් ආලේප කොට රන් දම්වැල් දිව්‍ය-වාක්‍යස්ථානයේ ඉස්සරහ පැත්තෙහි ඇද, ඒවායෙහි ද රන් ආලේප කෙළේ ය.</verse>
				<verse number="22">මුළු මාලිගාව සම්පූර්ණයෙන් නිම වන තෙක් රන් ගැල්වී ය. දිව්‍ය-වාක්‍යස්ථානය තුළ වූ පූජාසනයෙහි ද සම්පූර්ණයෙන් ම රන් ආලේප කෙළේ ය.</verse>
				<verse number="23">ඔහු දිව්‍ය-වාක්‍යස්ථානයෙහි ඇතුළේ ඔලීව ලීවලින් මීටර් හතරයි දශම හතර බැගින් උස ඇති කෙරුබ්වරුන්ගේ රූප දෙකක් සාදා තැබී ය.</verse>
				<verse number="24">එක කෙරුබ්වරයෙකුගේ රූපයක එක පියාපතක් මීටර් දෙකයි දශම දෙකක් ය. කෙරුබ්වරයාගේ රූපයේ අනික් පියාපත මීටර් දෙකයි දශම දෙකක් ය; එක් පියාපතක කෙළවර පටන් අනික් පියාපතේ කෙළවර දක්වා මීටර් හතරයි දශම හතරකි.</verse>
				<verse number="25">අනික් කෙරුබ්වරයාගේ රූපයත් මීටර් හතරයි දශම හතරකි, කෙරුබ්වරුන්ගේ රූප දෙක ම එක මිම්මට ද එක හැඩේට ද විය.</verse>
				<verse number="26">එක කෙරුබ්වරයෙකුගේ රූපයක උස මීටර් හතරයි දශම හතරකි. අනික් කෙරුබ්වරයාගේ රූපයත් එසේ ම ය.</verse>
				<verse number="27">ඔහු ඒ කෙරුබ්වරුන්ගේ රූප ඇතුළු ගෘහය තුළ පිහිටෙවුවේ ය. එක කෙරුබ්වරයෙකුගේ රූපයක පියාපතක් එක බිත්තියකට වදින හැටියටත්, අනික් කෙරුබ්වරයාගේ රූපයේ පියාපතක් අනික් බිත්තියට වදින හැටියටත්, ඒවායේ පියාපත් ඇතුළු ගෘහය මැද එකිනෙකට වදින හැටියටත් ඒවායේ පියාපත් විහිදුවා තබන ලද්දේ ය.</verse>
				<verse number="28">ඔහු කෙරුබ්වරුන්ගේ රූප රනින් ආලේප කෙළේ ය.</verse>
				<verse number="29">වටකර ඇතුළෙනුත්, පිටිනුත් මාලිගාවේ සියලු බිත්තිවල ඔහු කෙරුබ් රූප ද තාල වර්ගයේ ගස් ද පිපුණු මල් ද කොටා කැටයම් වැඩ කෙළේ ය.</verse>
				<verse number="30">ඔහු මාලිගාවේ ඇතුළත හා පිටත බිම රන් ආලේප කෙළේ ය.</verse>
				<verse number="31">දිව්‍ය-වාක්‍යස්ථානයේ දොරකඩ ඔලීව ලීවලින් ඔහු දොරවල් සෑදුවේ ය. උළුවස්සේ ඉහළ පඩිය ද උළුවහු කණු ද බිත්තියෙන් පහෙන් කොටසක් විය.</verse>
				<verse number="32">ඔලීව ලීවලින් සෑදූ ඒ දොරවල් දෙකේ ඔහු කෙරුබ්වරුන්ගේ රූප ද තල් ගස් ද පිපුණු මල් ද කැටයම් කර, රන් ආලේප කර, කෙරුබ්වරුන්ගේ රූප හා තල් ගස් පිටත් රන් ගෑවේ ය.</verse>
				<verse number="33">එසේ ම ඔහු මාලිගාවේ දොරකඩටත් ඔලීව ලීවලින් උළුවහු කණු සෑදුවේ ය. ඊට බිත්තියෙන් හතරෙන් කොටසක් ගියේ ය.</verse>
				<verse number="34">මාලිගාවේ දොරකඩට දේවදාර ලීවලින් දොරවල් දෙකක් ද සෑදුවේ ය. එක දොරකට අකුළන දේවදාර පියන් දෙකක් ද අනික් දොරට අකුළන දේවදාර පියන් දෙකක් ද විය.</verse>
				<verse number="35">ඔහු ඒවායේ කෙරුබ්වරුන්ගේ රූප ද තල් ගස් ද පිපුණු මල් ද කපා, ඒ කැටයම් පිට සම ලෙස රත්රන් ගෑවේ ය.</verse>
				<verse number="36">ඇතුළු මළුව කැපූ ගල් පේළි තුනකින් ද කිහිරි දැව පේළියකින් ද සෑදුවේ ය.</verse>
				<verse number="37">සතර වන අවුරුද්දේ ශිව් මාසයේ දී සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම් දමන ලදී.</verse>
				<verse number="38">එකොළොස් වන අවුරුද්දේ අට වන මාසය වන බූල් මාසයේ දී මාලිගාව එහි සියලු කොටස් ඇතුළු ව අඳින ලද සම්පූර්ණ සැලැස්ම අනුව නිම කරන ලදී. මෙසේ ඔහු සත් අවුරුද්දක් එය නොඩනැඟීමෙහි යෙදී සිටියේ ය.</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">සලමොන් රජ තමා සඳහා මාලිගාවක් ගොඩනඟා, මුළු මාලිගාව දහතුන් අවුරුද්දකින් අවසාන කෙළේ ය.</verse>
				<verse number="2">ඔහු ලෙබනොන් ආරණ්‍යය නම් ශාලාව ද ගොඩනැඟී ය. කිහිරි කණු පේළි සතරක් ද ඒ කණු පිට කිහිරි බාල්ක ද ඇති ව එය සාදන ලද්දේ ය. එහි දිග මීටර් හතළිස්හතරකි. පළල මීටර් විසිදෙකකි, උස මීටර් දහතුනයි දශම පහකි.</verse>
				<verse number="3">පේළියට පහළොව බැගින් කණු සතළිස්පහක් වූ ශාලාවේ සීලිම කිහිරි ලීවලින් වසා තිබුණේ ය.</verse>
				<verse number="4">ජනේල තට්ටු තුනක් තිබුණේ ය. කවුළුවක් ඉදිරිපිට කවුළුවක් වශයෙන් තට්ටු තුනක ඒවා තිබුණේ ය.</verse>
				<verse number="5">සියලු දොරකඩවල් ද උළුවහු ද ජනේලවලට කෙළින් සතරැස් ව තිබුණේ ය. කවුළුවක් ඉදිරිපිට කවුළුවක් වශයෙන් තට්ටු තුනක ඒවා විය.</verse>
				<verse number="6">ඔහු මීටර් විසිදෙකක් දිග ද මීටර් දහතුනයි දශම පහක් පළල ද ඇති කුළුණු ශාලාවක් සෑදුවේ ය. ඒවා ඉදිරිපිට කුළුණු ද ලොකු බාල්ක ද සහිත තවත් ශාලාවක් ද සෑදී ය.</verse>
				<verse number="7">විනිශ්චය කරන පිණිස සිංහාසන ශාලාව වන අධිකරණ ශාලාවක් ඔහු සෑදුවේ ය. එය බිම පටන් උඩ තට්ටුව දක්වා කිහිරි ලීවලින් වසන ලදී.</verse>
				<verse number="8">ඔහුට වාසය කිරීම සඳහා ශාලාවට එහා පැත්තෙන් අනික් මළුවේ ඔහුගේ මාලිගාව ඊට සමාන ව සාදන ලදී. ඒ ශාලාවට සමාන වූ නිවෙසක් සලමොන් තමා භාර්යාව කොට පාවාගත් පාරාවෝ‍ගේ දුවටත් සෑදුවේ ය.</verse>
				<verse number="9">මේ සියල්ල ම කියතෙන් ඉරා කැපූ ගල්වල මිමිවල හැටියට ඇතුළෙනුත්, පිටිනුත් අත්තිවාරමේ පටන් පියස්සේ පහත කෙළවර දක්වා ද පිටත සිට මහ මළුව දක්වා ද වටිනා ගල්වලින් නිම කරන ලද්දේ ය.</verse>
				<verse number="10">වටිනා විශාල ගල්වලින් එනම්, මීටර් හතරක් වූ ගල්වලින් ද මීටර් තුනහමාරක් වූ ගල්වලින් ද අත්තිවාරම දමා තිබුණේ ය.</verse>
				<verse number="11">ඒවා පිට කැපූ ගල්වල මිමිවල හැටියට වටිනා ගල් ද කිහිරි ලී ද තිබිණි.</verse>
				<verse number="12">වටකර තිබුණ මහ මළුව කැපූ ගල් පේළි තුනකින් ද කිහිරි දැව පේළියකින් ද සාදන ලද්දේ ය. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු මළුවත්, මාලිගාවේ ශාලාවත් එලෙස ම විය.</verse>
				<verse number="13">සලමොන් රජ පණිවුඩයක් යවා තීර් නගරයේ සිට හීරාම් නමැත්තෙකු ගෙන්වා ගත්තේ ය.</verse>
				<verse number="14">ඔහු නප්තලීගේ ගෝත්‍රයේ වැන්දඹු ස්ත්‍රියකගේ පුත්‍රයෙකි. ඔහුගේ පියා තීර් වැසියෙකු වූ ලෝකුරුවෙක් ය. ඔහු සියලු ආකාර ලෝකඩ වැඩ කිරීමට ප්‍රඥාවෙන් ද තේරුමෙන් ද දක්ෂකමින් ද පූර්ණ ව සිටියේ ය. ඔහු සලමොන් රජු වෙත පැමිණ ඔහුගේ සියලු වැඩ කෙළේ ය.</verse>
				<verse number="15">ඔහු ලෝකඩ කුළුණු දෙකක් වාත්තු කෙළේ ය. එක එක කුළුණේ උස මීටර් අටකි. එක එක කුළුණේ වට ප්‍රමාණය මීටර් පහයි දශම තුනකි.</verse>
				<verse number="16">කුළුණු මුදුන් පිට තබන්නට ඔහු ලෝකඩ පේකඩ දෙකක් වාත්තු කර සෑදී ය. එක එක පේකඩයේ උස මීටර් දෙකයි දශම දෙකකි.</verse>
				<verse number="17">කුළුණු මුදුන් පිට තිබුණු පේකඩවලට දැල් වැඩ ද දම්වැල් මාලා වැඩ ද තිබිණි. එක එක පේකඩයට ඒවා සතක් බැගින් තිබිණි.</verse>
				<verse number="18">කුළුණු මුදුන් පිට තිබුණු පේකඩ වසන පිණිස එක එක පේකඩයේ දැල් වැඩ පිට වටේට ම ඔහු දෙළුම් ගෙඩි පේළි දෙකක් සෑදුවේ ය.</verse>
				<verse number="19">ශාලාවේ කුළුණු මුදුන් පිට තිබුණු පේකඩවල මානෙල්‍ මල් වැඩ මීටර් එකයි දශම අටක් සාදා තිබිණි.</verse>
				<verse number="20">කුළුණු දෙකේ පේකඩවල දැල් කර්මාන්තයට උඩින්, මැද වටය ළඟ එක එක පේකඩය වටකර දෙළුම් දෙසියයක් පේළිවල තිබිණි.</verse>
				<verse number="21">ඔහු දේව මාලිගාවේ ශාලාව ඉදිරිපිට ඒ කුළුණු පිහිටුවා දකුණු කුළුණට ජාකීන් යන නම ද වම් කුළුණට බෝවස් යන නම ද තැබුවේ ය.</verse>
				<verse number="22">කුළුණු මුදුන්වල මානෙල්‍ මල් වැඩ තිබිණි. මෙසේ කුළුණුවල වැඩ නිම කරන ලද්දේ ය.</verse>
				<verse number="23">ඔහු වටකුරු වතුර පොකුණක් වාත්තු කර සෑදුවේ ය. එය ගැටියේ එක පැත්තක සිට අනික් පැත්ත දක්වා මීටර් හතරයි දශම දෙකකි. එහි උස මීටර් දෙකයි දශම දෙකකි. වට ප්‍රමාණය මීටර් දහතුනයි දශම දෙකකි.</verse>
				<verse number="24">එහි ගැටියට යටින් එය වටකර කැකිරි ගෙඩි දසයක් තිබිණි. එය වාත්තු කරන විට, වාත්තු කළ දෙපේළියක කැකිරි ගෙඩි වතුර පොකුණ වටේට ම තිබිණි.</verse>
				<verse number="25">වතුර පොකුණ ගව රූප දොළොසක් පිට තබා තිබිණි. තුනක් උතුරු දෙසට ද තුනක් බස්නාහිර දෙසට ද තුනක් දකුණු දෙසට ද තුනක් නැගෙනහිර දෙසට ද හැරී තිබිණි. වතුර පොකුණ ඒ රූපවලට උඩින් ඒවා පිට තබා තිබිණි. රූපවල පිටුපස කොටස් සියල්ල ම ඇතුළට විය.</verse>
				<verse number="26">එහි ගනකම මිලිමීටර් හැත්තෑපහකි. එහි ගැටිය පාත්‍රයක ගැටිය මෙන් මානෙල්‍ මලක් ලෙස සාදන ලද්දේ ය. එහි ජල ප්‍රමාණය ලීටර් හතළිස්දහසක් පමණ විය.</verse>
				<verse number="27">ඔහු රථ දසයක් ලෝකඩින් සෑදී ය. එක එක රථයේ දිග මීටර් එකයි දශම අටකි. පළල මීටර් එකයි දශම අටකි. උස මීටර් එකයි දශම තුනකි.</verse>
				<verse number="28">මෙකී රථ මෙලෙස සාදන ලදී. ඒවා පනේල ආකාර ව තිබිණි; පනේල සන්ධිවලට අතරේ තිබිණි.</verse>
				<verse number="29">එසේ සන්ධිවලට අතරේ පනේල පිට සිංහ රූප ද ගව රූප ද කෙරුබ් රූප ද විය. සන්ධි පිටත් ඉහළ පැත්ත එසේ ම තිබිණි. සිංහයන්ටත්, ගවයන්ටත් යටින් එල්ලෙන මාලා කර්ම තිබිණි.</verse>
				<verse number="30">එක එක රථයට ලෝකඩ රෝද සතරක් ද ලෝකඩ අලවංගු ද විය. ඒවායේ සතර කොනේ ආධාර කණු ද මේවාට උඩින් සෝදන භාජනය ද විය. මේ ආධාර කණු එක එක පැත්තේ මාලා ඇති ව වාත්තු කළ ඒවා විය.</verse>
				<verse number="31">පේකඩය ඇතුළෙත්, ඉහළත් සෝදන භාජනයේ කට හරහා සෙන්ටිමීටර් හතළිස්පහක් විය. රථයක මෙන් වැඩ ඇති ව එහි කට වටකුරු ව සෙන්ටිමීටර් හැටහයක් උස ව තිබිණි. එහි කට පිට කැටයම් වැඩ තිබිණි. එහෙත්, ඒවායේ පනේල වටකුරු ව නොව සතරැස් ව තිබිණි.</verse>
				<verse number="32">රෝද සතර පනේලවලට යටින් තිබිණි. රෝදවල අලවංගු රථවලට යා කර තිබිණි. එක එක රෝදයේ උස සෙන්ටිමීටර් හැටහයක් ය.</verse>
				<verse number="33">රෝදවල වැඩ රථ රෝදයක වැඩට සමාන ය. ඒවායේ අලවංගු ද වක් අතු ද ගරාදි ද බොස් ගෙඩි ද සියල්ල ම වාත්තු කරන ලදී.</verse>
				<verse number="34">එක එක රථයේ කොන් සතර ම රථයට යා කරන ලද ආධාර සතරක් විය.</verse>
				<verse number="35">රථයේ මුදුන සෙන්ටිමීටර් විසිදෙකක් උසට වටකුරු කර තිබිණි. රථයේ මුදුනෙහි තිබුණු ලීස්තර ද පනේල ද ඊට ම සම්බන්ධ කර සාදා තිබිණි.</verse>
				<verse number="36">ඔහු එහි ලීස්තරවල ලෑලිවල ද එහි පනේලවල ද ඒ ඒ ඉඩ ප්‍රමාණයට කෙරුබ් රූප ද සිංහ රූප ද තල් ගස් ද කැටයම් කෙළේ ය. වටේට මාලා ද තිබිණි.</verse>
				<verse number="37">මේ අයුරින් ඔහු රථ දසය සෑදී ය. ඒ සියල්ලට තිබුණේ එක ම වාත්තුවත්, එක ම මිම්මත්, එක ම හැඩයත් ය.</verse>
				<verse number="38">තවද, සේදීම පිණිස ලෝකඩ භාජන දසයක් ඔහු සෑදුවේ ය. එක එක භාජනයේ වතුර ප්‍රමාණය ලීටර් අටසියයක් බැගින් විය. එක එක භාජනය මීටර් එකයි දශම අටක් පළල ය. රථ දසයෙන් එක එක රථය පිට භාජනයක් බැගින් තිබිණි.</verse>
				<verse number="39">ඔහු රථ පහක් මාලිගාවට දකුණු පැත්තෙන් ද පහක් වම් පැත්තෙන් ද තැබුවේ ය. ඔහු වතුර පොකුණ මාලිගාවට දකුණු පැත්තෙන් නැගෙනහිර දිශාවටත්, දකුණු දිශාවටත් අතරේ තැබුවේ ය.</verse>
				<verse number="40">තවද, හීරාම් තෙමේ සෝදන භාජන ද හැඳි ද තැටි ද සෑදී ය. මෙසේ හීරාම් සමිඳාණන් වහන්සේගේ මාලිගාව සඳහා සලමොන් රජු උදෙසා කළ සියලු වැඩ නිම කෙළේ ය.</verse>
				<verse number="41">එනම්, කුළුණු දෙකක් ද කුළුණු මුදුන් පිට තිබුණු පේකඩවල ගෝල දෙක ද ඒ ගෝල දෙක වැසීමට දැල් වැඩ දෙක ද</verse>
				<verse number="42">කුළුණු පිට තිබුණු පේකඩවල ගෝල දෙක වැසීමට එක එක දැල වටේට දෙළුම් දෙපේළියක් බැගින් දැල් වැඩ දෙකට දෙළුම් හාරසියයක් ද</verse>
				<verse number="43">රථ දසය ද රථ පිට වූ භාජන දසය ද</verse>
				<verse number="44">වතුර පොකුණක් ද වතුර පොකුණ යට තිබුණ ගව රූප දොළොස ද</verse>
				<verse number="45">හැළි ද හැඳි ද තැටි ද යන මේවා ය. හීරාම් සමිඳාණන් වහන්සේගේ මාලිගාව උදෙසා සලමොන් රජුට සෑදූ මේ සියලු බඩු ඔප දැමූ ලෝකඩින් විය.</verse>
				<verse number="46">රජ ජොර්දාන් මිටියාවතෙහි සුක්කොත් හා ශාරෙතත් අතරේ තිබෙන මැටි භූමියෙහි ඒවා වාත්තු කරවී ය.</verse>
				<verse number="47">ඒ සියලු බඩු ඉතා විශාල ගණනක් වූ බැවින් සලමොන් රජ ඒවා කිරුවේ නැත. ලෝකඩවල බර ද දැනගත්තේ නැත.</verse>
				<verse number="48">සලමොන් රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සියලු බඩු එනම්, රන් පූජාසනය ද පිදීමේ පූප තැබීමට රන් මේසය ද</verse>
				<verse number="49">දිව්‍ය-වාක්‍යස්ථානය ඉදිරිපිට දකුණු පැත්තෙන් හා වම් පැත්තෙන් පහක් බැගින් තැබීමට තනි රනින් පහන් රුක් ද මල් ද පහන් ද අඬු ද</verse>
				<verse number="50">තනි රනින් කළ බඳුන් ද පහන් කතුරු ද තැටි ද පාත්‍ර ද ධූම පාත්‍ර ද ඇතුළු මැදුර වන අතිශුද්ධස්ථානයේ දොරවලටත්, මාලිගාවේ දොරවලටත් රන් සරණේරු ද සෑදෙව්වේ ය.</verse>
				<verse number="51">මෙලෙස සලමොන් රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාව උදෙසා කරවන ලද වැඩ සියල්ල නිම විය. මොහු තමාගේ පිය වූ දාවිත් විසින් කැප කරන ලද දේ වන රිදී හා රන් ද භාණ්ඩ ද ඇතුළට ගෙනවුත් සමිඳාණන්ගේ මාලිගාවේ ගබඩාවල තැබුවේ ය.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">එවිට සලමොන් රජ දාවිත්ගේ නුවර වූ සියොන්හි සිට සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනෙන පිණිස ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් ද ඉශ්රායෙල් ජනයාගේ පිය පෙළපත්වල අධිපතීන් වූ ගෝත්‍රවල සියලු ප්‍රධානීන් ද තමන් වෙත ජෙරුසලමට රැස් කෙළේ ය.</verse>
				<verse number="2">සියලු ඉශ්රායෙල්වරු සත් වන මාසය වන ඒතානිම් මාසයේ මංගල්‍යයේ දී සලමොන් රජු වෙත රැස් වූවෝ‍ ය.</verse>
				<verse number="3">ඉශ්රායෙල්වරුන්ගේ සියලු ප්‍රජා මූලිකයන් පැමිණි කල පූජකවරු ගිවිසුම් කරඬුව උසුලාගත්හ.</verse>
				<verse number="4">තවද, ඔව්හු කරඬුව ද සම්මුඛ මණ්ඩපය ද මණ්ඩපයෙහි තිබුණු සියලු ශුද්ධ බඩු ද ගෙනාවෝ‍ ය. මෙලෙස පූජකවරු සහ ලෙවීවරු ඒවා ගෙනාහ.</verse>
				<verse number="5">සලමොන් රජ ද ඔහු වෙත රැස් ව සිටි මුළු ඉශ්රායෙල් සභාව ද ගණන් කරන්නට බැරි තරම් විශාල ගණනක් බැටළුවන් සහ ගවයන් පූජා කරමින් ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සිටියෝ ය.</verse>
				<verse number="6">පූජකවරු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අතිශුද්ධස්ථානය වන දේව මාලිගාවේ දිව්‍ය-වාක්‍යස්ථානයට ගෙනවුත් කෙරුබ්වරුන්ගේ පියාපත් යට ඊට නිසි තැන එය තැබූ හ.</verse>
				<verse number="7">මන්ද, කරඬුව තබන ලද ස්ථානයට උඩින් විහිදී තිබූ කෙරුබ්වරුන්ගේ පියාපත්වලට කරඬුවත්, එහි පොලුත් උඩින් වැසී තිබුණේ ය.</verse>
				<verse number="8">ඒ පොලුවල අගිස් දිව්‍ය-වාක්‍යස්ථානයට ඉදිරියෙහි වූ ශුද්ධස්ථානයට පෙනෙන තරම් දිගට තිබිණි. එහෙත්, ඒවා පිටතට පෙනුණේ නැත. ඒවා අද දක්වා ම එහි තිබේ.</verse>
				<verse number="9">ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පැමිණි පසු, සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ ගිවිසුමක් කළ විට මෝසෙස් විසින් හොරෙබ් කන්දේ දී තබන ලද ගල්පුවරු දෙක මිස, ගිවිසුම් කරඬුවේ වෙන කිසිවක් නොතිබිණි.</verse>
				<verse number="10">පූජකවරුන් ශුද්ධස්ථානයෙන් පිටතට ආ කල සමිඳාණන් වහන්සේගේ මාලිගාව වලාපටලයෙන් පිරිණි.</verse>
				<verse number="11">වලාපටලය නිසා පූජකවරුන්ට සේවය කිරීම පිණිස සිටින්න නොහැකි විය. සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරයෙන් උන් වහන්සේගේ මාලිගාව පිරී තිබිණි.</verse>
				<verse number="12">එවිට සලමොන් කතා කොට මෙසේ කීවේ ය: “සමිඳුනි, ඔබ අහස් තලයෙහි සූර්යයා තැබූ සේක; එහෙත්, විසීමට අඳුරු වලාකුළු තෝරාගත් සේක.</verse>
				<verse number="13">මම ඔබ උදෙසා වාසභවනයක්, ඔබට සදා විසීමට තැනක් ඉදි කෙළෙමි.”</verse>
				<verse number="14">රජ තෙම මුළු ඉශ්රායෙල් සභාව නැඟිට සිටිය දී, මුහුණ හරවා ඔවුන්ට ආශීර්වාද කරමින් මෙසේ කී ය:</verse>
				<verse number="15">“ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! මන්ද, උන් වහන්සේ ස්වකීය මුඛයෙන් මාගේ පිය වූ දාවිත්ට කතා කරමින්,</verse>
				<verse number="16">‘මාගේ සෙනඟ වන ඉශ්රායෙල් ජනයා මා මිසරයෙන් ගෙනා දවසේ පටන් මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන පිණිස සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් කිසි නගරයක් තෝරා නොගෙන, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් පාලනය කිරීමට දාවිත් තෝරා ගතිමි’යි පවසා ස්වකීය හස්තයෙන් එය ඉෂ්ට කළ සේක.</verse>
				<verse number="17">“ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනැඟීමට අදහසක් මාගේ පිය වූ දාවිත්ගේ සිතේ තිබිණි.</verse>
				<verse number="18">එහෙත්, සමිඳාණන් වහන්සේ මාගේ පිය වූ දාවිත්ට කතා කොට, ‘මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නට නුඹේ සිතේ තිබූ අදහස හොඳ එකකි.</verse>
				<verse number="19">එසේ වී නමුත්, නුඹ ඒ මාලිගාව ගොඩනඟන්නේ නැත; නුඹට දාව ඉපදෙන නුඹේ පුත්‍රයා ම මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නේ ය’යි වදාළ සේක.</verse>
				<verse number="20">“සමිඳාණන් වහන්සේ තමන් වදාළ වචනය ඉෂ්ට කළ සේක. මන්ද, උන් වහන්සේ වදාළ හැටියට මම මාගේ පිය වූ දාවිත් වෙනුවෙන් පත් වී ඉශ්රායෙල්වරුන්ගේ සිංහාසනයේ හිඳ, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනැඟුවෙමි.</verse>
				<verse number="21">තවද, සමිඳාණන් වහන්සේ අපේ පියවරුන් මිසර දේශයෙන් ගෙනා කල ඔවුන් සමඟ කළ ගිවිසුම තබා තිබෙන කරඬුවට එහි ස්ථානයක් නියම කෙළෙමි.”</verse>
				<verse number="22">ඉන්පසු සලමොන් රජ තෙම මුළු ඉශ්රායෙල් සභාව ඉදිරියෙහි සමිඳාණන් වහන්සේගේ පූජාසනය ඉදිරිපිට සිට, ස්වර්ගය දෙසට තම අත් විදහා මෙසේ කී ය:</verse>
				<verse number="23">“ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඉහළ ස්වර්ගයෙහි වත්, පහළ පොළොවෙහි වත් ඔබට සමාන දෙවි කෙනෙක් ඇත්තේ නැත. ඔබ වනාහි ඔබ ඉදිරියෙහි තමන්ගේ මුළු සිතින් කීකරු වන ඔබේ මෙහෙකරුවන් සමඟ ගිවිසුමත්, කරුණාවත් පවත්වන සේක.</verse>
				<verse number="24">ඔබේ මෙහෙකරු වූ මාගේ පිය දාවිත්ට ඔබ පොරොන්දු වූ දේ ඔහුට ඉෂ්ට කර දුන් සේක. එසේ ය, ඔබ ස්වකීය මුඛයෙන් එය වදාරා අද දවසේ තිබෙන ප්‍රකාරයට ස්වකීය හස්තයෙන් එය ඉෂ්ට කළ සේක.</verse>
				<verse number="25">එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකරු වූ මාගේ පිය දාවිත්ට ඔබ කතා කොට, ‘නුඹ මා ඉදිරියෙහි හැසුරුණු පරිදි නුඹේ දරුවෝ‍ ද තමන්ගේ මාර්ගය ගැන ප්‍රවේසම් වන්නෝ නම්, ඉශ්රායෙල්වරුන්ගේ සිංහාසනයෙහි හිඳීමට මා ඉදිරියෙහි නුඹට කෙනෙක් නැතුව නොයන්නේ ය’ කියා ඔබ වදාළ කාරණය ඔහුට ඉෂ්ට කර දුන මැනව,</verse>
				<verse number="26">එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකරු වූ මාගේ පිය දාවිත්ට වදාළ ඔබේ වචනය මෙසේ ස්ථීර වේ වා!</verse>
				<verse number="27">“එහෙත්, දෙවියන් වහන්සේ සැබැවින් ම පොළොවෙහි වැඩ වසන සේක් ද? ස්වර්ගය ද ඉහළ ම ස්වර්ගය ද ඔබ වහන්සේට ඉඩ මදි ය; එසේ නම්, මා ගොඩනැඟුවාවූ මේ මාලිගාව ඊට වඩා කොපමණ නොසෑහේ ද?</verse>
				<verse number="28">එහෙත්, මාගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකරුවාගේ යාච්ඤාව ද කන්නලව්ව ද සලකා අද ඔබ ඉදිරියෙහි ඔබේ මෙහෙකරුවා ඔප්පු කරන ඉල්ලීම හා යාච්ඤාව ඇසුව මැනව.</verse>
				<verse number="29">‘මාගේ නාමය එහි වන්නේ ය’ කියා ඔබ යම් ස්ථානයක් ගැන වදාළ සේක් ද, ඒ ස්ථානය වන මේ මාලිගාව දෙස ඔබේ දෙනෙත් දිවා රෑ දෙක්හි යොමු වී තිබේ වා! ඔබේ මෙහෙකරුවා මේ ස්ථානය දෙසට හැරී ඔප්පු කරන යාච්ඤාව ඇසුව මැනව.</verse>
				<verse number="30">ඔබේ මෙහෙකරුවා ද ඔබේ ඉශ්රායෙල් සෙනඟ ද මේ ස්ථානය දෙසට හැරී ඔප්පු කරන ඔවුන්ගේ කන්නලව්ව ඇසුව මැනව. එසේ ය, ස්වකීය වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට ඇසුව මැනව, අසා කමා වුව මැනව.</verse>
				<verse number="31">“යමෙකු තම අසල්වැසියාට විරුද්ධ ව වරදක් කොට ඔහු දිවුරවන පිණිස දිවුරුමක් ඔහුට පවරා, ඔහු අවුත් මේ මාලිගාවේ ඔබේ පූජාසනය ඉදිරිපිට දිවුළොත්,</verse>
				<verse number="32">ඔබ ස්වර්ගයෙහි සිට එය අසා වදාරමින් ක්‍රියා කළ මැනව; ඔබේ මෙහෙකරුවන් විනිශ්චය කළ මැනව; වරදකරුවාට නිසි විපාකය අනුව ඔහුට දඬුවම් දුන මැනව; නිවැරදිකරුවාට ඔහුගේ නිදොස්කම අනුව ඔහුට විපාක දුන මැනව.</verse>
				<verse number="33">“ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් ඔබට විරුද්ධ ව පව් කළ බැවින් සතුරා ඉදිරියෙහි ඔවුන් පරාජය වූ කල, ඔව්හු දෙවනු ඔබ වෙත හැරී ඔබේ නාමය ප්‍රකාශ කර, මේ මාලිගාවේ දී ඔබට යාච්ඤා කර කන්නලව් කළොත්,</verse>
				<verse number="34">ඔබ ස්වර්ගයේ සිට එය අසා, ඔවුන්ගේ පාපයට කමා වී, ඔවුන්ගේ පියවරුන්ට ඔබ දුන් දේශයට ඔවුන් නැවත පැමිණෙවුව මැනව.</verse>
				<verse number="35">“ඔවුන් ඔබට විරුද්ධ ව පව් කළ බැවින් අහස පිය වී වර්ෂාව නැති වී යන විට, ඔබ මෙසේ ඔවුන්ට දඬුවම් කරන හෙයින් ඔවුන් මේ ස්ථානය දෙසට හැරී යාච්ඤා කොට ඔබේ නාමය ප්‍රකාශ කර තමන්ගේ පාපය අත් හැරියොත්,</verse>
				<verse number="36">ඔබ ස්වර්ගයේ සිට එය අසා, ඔවුන් යා යුතු යහපත් මාර්ගය ඔවුන්ට පෙන්නා දුන් කල, ඔබේ මෙහෙකරුවන්ගේත්, ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේත් පාපයට කමා වී, උරුමයක් කොට ඔබේ සෙනඟට ඔබ දී තිබෙන ඔබේ දේශයට වර්ෂාව දුන මැනව.</verse>
				<verse number="37">“දේශයෙහි සාගතයක් හෝ වසංගතයක් හෝ ගොයම් වියළී යාම හෝ ගොයම් රෝගය හෝ පළඟැටියන් හෝ දළඹුවන් හෝ ඇති වූ විට ද ඔවුන්ගේ දේශයේ නගරවල ඔවුන් සිටින විට ඔවුන්ගේ සතුරන් ඔවුන් වැටලූ අවස්ථාවක දී, යම්කිසි පීඩාවක් හෝ රෝගයක් හෝ ඇති වූ විට ද</verse>
				<verse number="38">යම් මනුෂ්‍යයෙකු හෝ ඔබේ මුළු සෙනඟ වන ඉශ්රායෙල්වරුන් හෝ තමන්ගේ සිත්වල සෝ දුක තේරුම් ගෙන, මේ මාලිගාව දෙසට තමන්ගේ අත් විදහාගෙන යම් යාච්ඤාවක් හෝ කන්නලව්වක් හෝ ඔප්පු කළොත්,</verse>
				<verse number="39">ඔබේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට එය අසා කමා වුව මැනව. සෑම මනුෂ්‍යයෙකුගේ ම සිත් ඔබ පමණක් දන්න සේක; ඔබ එකිනෙකාට ඔවුනොවුන්ට සුදුසු පරිදි ඉෂ්ට කර දුන මැනව.</verse>
				<verse number="40">එවිට ඔබ අපේ පියවරුන්ට දුන් දේශය මතුපිට ඔවුන් ජීවත් වන මුළු කාලයේ දී ඔව්හු ඔබ කෙරෙහි ගරුබිය ඇති ව සිටින්නෝ ය.</verse>
				<verse number="41">“තවද, ඔබේ සෙනඟ වන ඉශ්රායෙල් ජාතිකයෙකු නොවන යම් විදේශිකයෙකු ඔබේ උතුම් නාමය ද ප්‍රබල බාහුව හා දිගු කළ හස්තය ද ගැන අසනු ඇත.</verse>
				<verse number="42">එසේ ඔබේ නාමය නිසා දුර දේශයකින් පැමිණි විදේශිකයෙකු මේ මාලිගාව දෙසට හැරී යාච්ඤා කළොත්,</verse>
				<verse number="43">ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් මෙන් මිහි පිට සියලු සෙනඟ ඔබේ නාමය ඇඳිනගෙන ඔබ කෙරෙහි ගරුබිය පාන පිණිස ද මා ගොඩනැඟුවාවූ මේ මාලිගාවට ඔබේ නාමය තබා තිබෙන බව දැනගන්න පිණිස ද ඔබේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට අසා විදේශිකයා ඔබට කරන මුළු කන්නලව්ව ලෙස ඔහුට ඉටු කළ මැනව.</verse>
				<verse number="44">“ඔබේ සෙනඟ තම සතුරන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට ඔබ ඔවුන් යවන කොයි මාර්ගයෙන් වුවත් ගොස්, ඔබ තෝරාගත් නගරය ද ඔබේ නාමයට මා විසින් ගොඩනඟන ලද මාලිගාව ද දෙසට හැරී සමිඳාණන් වහන්සේට යාච්ඤා කළොත්,</verse>
				<verse number="45">ඔබ ස්වර්ගයේ සිට ඔවුන්ගේ යාච්ඤාව හා කන්නලව්ව අසා ඔවුන්ට යුක්තිය ඉටු කළ මැනව.</verse>
				<verse number="46">“පව් නොකරන මනුෂ්‍යයෙක් නැත. එබැවින් ඔවුන් ඔබට විරුද්ධ ව පව් කරන්නටත්, ඔබ ඔවුන් කෙරෙහි උදහස් වී ඔවුන්ගේ සතුරන්ට ඔවුන් පාවා දෙන්නටත්, ඔවුන් වහල්කමට ගන්න අය දුර හෝ ළඟ හෝ ඇති සතුරන්ගේ දේශයට ඔවුන් ගෙනයන්නටත් පුළුවන.</verse>
				<verse number="47">එවිට ඔවුන් වහලුන් කොට ගෙනයනු ලැබූ දේශයේ දී ඔවුන් එය සිතට ගෙන පසුතැවී සිත් හරවා ගෙන, ඔවුන් වහල්කමට ගත් අයගේ දේශයේ දී ඔබට කන්නලව් කොට, ‘අපි පව් කෙළෙමු; හිතුවක්කාරකමින් ද දුෂ්ටකමින් ද ක්‍රියා කෙළෙමු’යි කියමින්,</verse>
				<verse number="48">ඔවුන් වහල්කමට ගත් ඔවුන්ගේ සතුරන්ගේ දේශයේ දී තමන්ගේ මුළු හෘදයෙන් ද මුළු සිතින් ද ඔබ දෙසට හැරී, ඔබ ඔවුන්ගේ පියවරුන්ට දුන් ඔවුන්ගේ දේශය ද ඔබ තෝරාගත් නගරය ද ඔබේ නාමයට මා ගොඩනැඟුවාවූ මාලිගාව ද දෙස බලා, ඔබට යාච්ඤා කළොත්,</verse>
				<verse number="49">ඔබේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඔබ ඔවුන්ගේ යාච්ඤාව හා කන්නලව්ව අසා ඔවුන්ට යුක්තිය ඉටු කළ මැනව.</verse>
				<verse number="50">ඔබට විරුද්ධ ව පව් කළ ඔබේ සෙනඟට ඔබට විරුද්ධ ව කළ ඔවුන්ගේ සියලු අපරාධවලට කමා වී, ඔවුන් වහල්කමට ගත් අය විසින් ඔවුන්ට අනුකම්පා කරනු ලබන හැටියට ඔවුන්ට ඒ අයගෙන් අනුකම්පාව ලබා දුන මැනව.</verse>
				<verse number="51">මන්ද, ඔව්හු ඔබ විසින් මිසර දේශය වන යකඩ උදුනෙන් පිටතට ගෙනෙන ලද ඔබේ සෙනඟත්, ඔබේ උරුමයත් ය.</verse>
				<verse number="52">“ඔබේ මෙහෙකරුවාගේ ද ඔබේ ඉශ්රායෙල් සෙනඟගේ ද කන්නලව්ව දෙස ඔබේ කන් යොමු කළ මැනව. ඔවුන් ඔබෙන්‍ ඉල්ලන සියල්ල ගැන ඔවුන්ට ඇහුම්කන් දුන මැනව.</verse>
				<verse number="53">මන්ද, දෙවි ස්වාමීන් වහන්ස, ඔබ අපේ පියවරුන් මිසරයෙන් ගෙනා විට ඔබේ මෙහෙකරු වූ මෝසෙස් ලවා කතා කරවූ ප්‍රකාරයට, ඔබට උරුමයක් කොට ඔබ ම මිහි පිට සියලු මනුෂ්‍ය වර්ගයන්ගෙන් ඔවුන් වෙන් කරගත් සේක.”</verse>
				<verse number="54">සලමොන් රජ තෙම සමිඳාණන් වහන්සේට මේ මුළු යාච්ඤාව හා කන්නලව්ව ඔප්පු කර නිම කළ විට, ඔහු උන් වහන්සේගේ පූජාසනය ඉදිරිපිට ස්වර්ගය දෙසට තම අත් විදහාගෙන, දණ ගසා සිටි තැනින් නැඟිට්ටේ ය.</verse>
				<verse number="55">තවද, ඔහු සිටගෙන මහත් හඬින් ඉශ්රායෙල්වරුන්ගේ සභාවට ආශීර්වාද කරමින් මෙසේ කී ය:</verse>
				<verse number="56">“තමන් වහන්සේ පොරොන්දු වූ සියල්ල හැටියට තමන් සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ට සාමය දුන් සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! උන් වහන්සේ සිය මෙහෙකරු වූ මෝසෙස් ලවා පොරොන්දු වූ සියලු යහපත් දේවලින් එක පොරොන්දුවක් වත් හිස් නො වී ය.</verse>
				<verse number="57">අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපේ පියවරුන් සමඟ වැඩ සිටි ලෙස ම අප සමඟත් වැඩ සිටින සේක් වා! උන් වහන්සේ අප අත් නොහරින සේක් වා! අප බැහැර නොදමන සේක් වා!</verse>
				<verse number="58">එසේ උන් වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙන්නටත්, උන් වහන්සේ අපේ පියවරුන්ට අණ කළ උන් වහන්සේගේ ආඥා ද පණත් ද විනිශ්චයයන් ද පවත්වන්නටත් උන් වහන්සේ අපේ සිත් තමන් වෙත නමාගන්න සේක් වා!</verse>
				<verse number="59">තමන්ගේ මෙහෙකරුවාටත්, තම සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ටත් දවසින් දවස වුවමනා වන ලෙස යුක්තිය ඉෂ්ට කිරීමට සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මා ඔප්පු කළ මේ කන්නලව්වේ වචන දිවා රෑ දෙක්හි අපේ දෙවි සමිඳාණන් වහන්සේ සමීපයෙහි පවතී වා!</verse>
				<verse number="60">එවිට සමිඳාණන් වහන්සේ දෙවියන් වහන්සේ බවත්, වෙන දෙවි කෙනෙකු නැති බවත් මිහි පිට සියලු ජාතීහු දැනගන්නෝ ය.</verse>
				<verse number="61">එබැවින් උන් වහන්සේගේ පණත්වල හැසිර, උන් වහන්සේගේ ආඥා පවත්වන හැටියට ඔබේ සිත් අද දවසේ මෙන් දෙවි සමිඳාණන් වහන්සේ වෙත මුළුමනින් ම යොමු වී පවතී වා!”</verse>
				<verse number="62">රජ ද ඔහු සමඟ සියලු ඉශ්රායෙල්වරු ද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජා ඔප්පු කළෝ ය.</verse>
				<verse number="63">සලමොන් රජ සමිඳාණන් වහන්සේට ඔප්පු කළ සහභාගිකමේ පූජා සඳහා ගොනුන් විසිදෙදහසක් හා බැටළුවන් එක්ලක්ෂ විසිදහසක් පුද කෙළේ ය. මෙසේ රජ ද සියලු ඉශ්රායෙල් ජනයා ද සමිඳාණන් වහන්සේගේ මාලිගාව කැප කළෝ ය.</verse>
				<verse number="64">එම දවසේ රජ තෙම සමිඳාණන් වහන්සේගේ මාලිගාව ඉදිරිපිට තිබෙන මළුවේ ඇතුළු කොටස විශුද්ධ කෙළේ ය. මන්ද, ඔහු දවන යාග පූජාව ද ආහාර පූජාව ද සහභාගිකමේ පූජාවල තෙල් ද එහි ඔප්පු කළ බැවිනි. එසේ කෙළේ, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිබෙන ලෝකඩ පූජාසනය දවන යාග පූජාව ද ආහාර පූජාව ද සහභාගිකමේ පූජාවල තෙල් ද දැරීමට ඉඩ මදි වූ නිසා ය.</verse>
				<verse number="65">මෙසේ ඒ කාලයෙහි හමාත් නම් දුර්ගයට ඇතුළු වන තැන පටන් මිසරයේ නයිල් ගඟ දක්වා පළාත්වලින් පැමිණි විශාල පිරිසක් වන, සලමොන් ඇතුළු සියලු ඉශ්රායෙල්වරු අප දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සත් දවසක් මංගල්‍ය පැවැත්වූ හ.</verse>
				<verse number="66">අට වන දින ඔහු සෙනඟ යන්නට හැරියේ ය. ඔව්හු රජුට ප්‍රශංසා කර, සමිඳාණන් වහන්සේ තම මෙහෙකරු දාවිත්ටත්, තම සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ටත් කළ සියලු යහපත ගැන ප්‍රීතිමත් ව, සතුටු සිතින් තම ගෙවලට ගියෝ ය.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද රාජ මාලිගාව ද ගොඩනඟා, තම ආසාව පරිදි සාදන්නට කැමැති වූ සියල්ලත් සාදා නිම කළ විට,</verse>
				<verse number="2">සමිඳාණන් වහන්සේ ගිබියොන්හි දී ඔහුට දර්ශනය වූ ලෙස ම දෙ වන‍ වරටත් ඔහුට දර්ශනය වූ සේක.</verse>
				<verse number="3">උන් වහන්සේ ඔහුට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹ මා ඉදිරියෙහි ඔප්පු කළ නුඹේ යාච්ඤාවත්, කන්නලව්වත් මම ඇසුවෙමි. නුඹ ගොඩනැඟුවාවූ මේ මාලිගාවෙහි මාගේ නාමය සදහට ම පවතින පිණිස එය විශුද්ධ කෙළෙමි. මාගේ නෙත ද සිත ද නිරන්තරයෙන් මෙයට යොමු වී තිබෙන්‍නේ ය.</verse>
				<verse number="4">ඉතින්, නුඹේ පිය වූ දාවිත් හැසුරුණ පරිදි නුඹ මා ඉදිරියෙහි සෘජු සිතක් ඇති ව ද අවංක ව ද හැසිරෙමින්, මා නුඹට අණ කළ සියල්ල ප්‍රකාරයට ඉටු කර, මාගේ පණත් ද විනිශ්චයයන් ද පිළිපදින්නෙහි නම්,</verse>
				<verse number="5">ඉශ්රායෙල් සිංහාසනයෙහි හිඳින්නට නුඹට කෙනෙක් නැති ව යන්නේ නැත කියා මා නුඹේ පිය දාවිත්ට පොරොන්දු වූ හැටියට, ඉශ්රායෙල්වරුන් කෙරෙහි නුඹේ රාජ්‍යයේ සිංහාසනය සදහට ම ස්ථීර කරන්නෙමි.</verse>
				<verse number="6">එහෙත්, නුඹලා ද නුඹලාගේ දරුවන් ද මා වෙතින් ඉවත් ව ගොස්, මා විසින් නුඹලා ඉදිරියෙහි තබන ලද මාගේ ආඥා හා පණත් නොපවත්වා අන් දෙවිවරුන් වෙත ගොස්, ඔවුන්ට වැඳුම්පිදුම් කර නමස්කාර කළොත්,</verse>
				<verse number="7">මම ඉශ්රායෙල්වරුන්ට දුන් දේශයෙන් ඔවුන් නෙරපාදමන්නෙමි. මාගේ නාමය සඳහා මා විශුද්ධ කළ මේ මාලිගාවත් මාගේ ඇස් හමුයෙන් පහකර දමන්නෙමි. ඉශ්රායෙල්වරුන් ද සියලු ජාතීන් අතර සමච්චලයක් හා උපහාසයක් වනු ඇත.</verse>
				<verse number="8">මේ මාලිගාවේ නටබුන් ගොඩ ළඟින් යන සියල්ලන් විස්මයට පත් ව, කවටකම් කර, ‘සමිදාණන් වහන්සේ මේ දේශයටත්, මේ මාලිගාවටත් මෙසේ කෙළේ මන්දැ’යි අසනු ඇත.</verse>
				<verse number="9">එවිට මිනිස්සු උත්තර දෙමින්, ‘ඔවුන් තමන්ගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනා තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත්හැර, අන් දෙවිවරුන්ට ඇලුම් ව, ඔවුන්ට නමස්කාර කොට, වැඳුම්පිදුම් කළ නිසා සමිඳාණන් වහන්සේ මේ සියලු විපත් ඔවුන් පිට පැමිණෙවු සේකැ’යි කියන්නෝ ය.”</verse>
				<verse number="10">සලමොන් රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාව සහ රජ මාලිගාව යන මාලිගා දෙක ගොඩනැඟීමට ගත කළ විසි අවුරුද්දට පසු,</verse>
				<verse number="11">ඔහු රිසි පරිදි ඔහුට කිහිරි ලී ද දේවදාර ලී ද රත්රන් ද සපයා දුන් තීර්හි හීරාම් රජු හට ගලීල දේශයෙහි නගර විස්සක් දුන්නේ ය.</verse>
				<verse number="12">හීරාම් ද සලමොන් තමාට දුන් නගර බලන්නට තීර්හි සිට ඇවිත් ඒවා ගැන සතුටු නොවී,</verse>
				<verse number="13">“මාගේ සහෝදරය, ඔබ මට දුන් මේ නගර මොනවා දැ”යි කියා ඒවාට ‘කාබුල් රට ය’යි නම් තැබුවේ ය. ඒ නම අද දක්වා ම පවතී.</verse>
				<verse number="14">හීරාම් රන් කිලෝග්‍රෑම් හාරදාහක් රජුට එවී ය.</verse>
				<verse number="15">සලමොන් රජු රාජකාරියට මිනිසුන් ගත්තේ, සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද තම මාලිගාව ද මිල්ලෝ නම් ස්ථානය ද ජෙරුසලමේ පවුර ද හාශොර්, මෙගිද්දෝ සහ ගෙශෙර් යන නගර ද ගොඩනැඟීම සඳහා ය.</verse>
				<verse number="16">මිසරයේ රජ වූ පාරාවෝ‍ අවුත් ගෙශෙර් නම් නගරය අල්ලාගෙන, එය ගිනිබත් කොට, ඒ නගරයේ විසූ කානානිවරුන් මරා එය සලමොන් රජුගේ බිරිඳ වන තම දුවට දායාදයක් කොට දී තිබිණි.</verse>
				<verse number="17">සලමොන් රජ ගෙශෙර් ද පහළ බෙත්-හොරොන් ද</verse>
				<verse number="18">බාලාත් ද රට තුළ වූ පාළුකරයෙහි තාමාර් ද</verse>
				<verse number="19">තමන් සතු සියලු ගබඩා-නගර ද රථවලට නගර ද අසරුවන්ට නගර ද ජෙරුසලමෙහිත්, ලෙබනොන්හිත්, තමාගේ රජයට අඩංගු වූ මුළු දේශයෙහිත් තමන් රිසි පරිදි ගොඩනඟනු කැමැති සියල්ල ද ගොඩනැඟුවේ ය.</verse>
				<verse number="20">ඉශ්රායෙල්වරුන් අතින් විනාශ නොවූ, ඉශ්රායෙල්වරුන්ට මුළුමනින් ම විනාශ කර දමන්නට බැරි වූ අමෝරිවරුන්ගෙන් ද හිත්තීවරුන්ගෙන් ද පෙරිස්සිවරුන්ගෙන් ද හිවීවරුන්ගෙන් ද ජෙබුසිවරුන්ගෙන් ද ඉතිරි වූ සියලු ජාතීන්ට පසු ව,</verse>
				<verse number="21">දේශයෙහි ඉතිරි ව සිටි ඔවුන්ගේ ජනයාගෙන් සලමොන් රජ අද දවස දක්වා රාජකාරියට වහලුන් ගණනාවක් ගත්තේ ය.</verse>
				<verse number="22">එහෙත්, සලමොන් ඉශ්රායෙල් ජනයා අතරෙන් කිසිවෙකු වහලෙකු කොට නොගත්තේ ය. ඔව්හු වනාහි යුද්ධ භටයන් ව, ඔහුගේ සේවකයන් ව, අධිපතියන් ව, සෙන්පතියන් ව, ඔහුගේ රථ කෙරෙහි ද අසරුවන් කෙරෙහි ද ප්‍රධානියන් ව සිටියෝ ය.</verse>
				<verse number="23">සලමොන්ගේ වැඩ බලාගත්, වැඩ කළ සෙනඟ පාලනය කළ ප්‍රධාන නිලධාරීහු පන්සිය පණස්දෙනෙක් වූ හ.</verse>
				<verse number="24">පාරාවෝ‍ගේ දුව දාවිත්ගේ නුවර සිට සලමොන් විසින් ඇය උදෙසා ගොඩනඟන ලද ඇගේ මාලිගාවට පැමිණියා ය. ඉන්පසු ඔහු මිල්ලෝ නම් ස්ථානය ගොඩනැඟී ය.</verse>
				<verse number="25">සලමොන් තමා සමිඳාණන් වහන්සේට ගොඩනැඟුවාවූ පූජාසනය පිට අවුරුද්දට තුන්වරක් දවන යාග පූජා හා සහභාගිකමේ පූජා ද උන් වහන්සේ ඉදිරියෙහි තිබුණු පූජාසනය පිට සුවඳ දුම් ද ඔප්පු කෙළේ ය. මෙසේ ඔහු මාලිගාව සාදා නිම කෙළේ ය.</verse>
				<verse number="26">සලමොන් රජ ඒදොම් දේශයෙහි රතු මුහුද අද්දර ඒලෝත් ළඟ පිහිටි එශියොන්-ගෙබෙර්හි නැව් කණ්ඩායමක් සෑදවී ය.</verse>
				<verse number="27">හීරාම් රජ ද මුහුදේ තතු දන්න නාවිකයන් වන තම සේවකයන් සලමොන්ගේ සේවකයන් සමඟ ඒ නැව්වල යැවී ය.</verse>
				<verse number="28">ඔව්හු ඕපීර් නම් දේශයට ගොස් එතැනින් රන් කිලෝග්‍රෑම් දාහතරදාහක් සලමොන් රජු වෙත ගෙනාහ.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">ෂෙබාහි රැජින සමිඳාණන් වහන්සේගේ නාමයේ හේතුවෙන් සලමොන් රජු ලත් කීර්තිය ගැන අසා දුෂ්කර ප්‍රශ්නවලින් ඔහු පිරික්සන පිණිස පැමිණියා ය.</verse>
				<verse number="2">ඕතොමෝ ඉතා විශාල පිරිවරක් ද සුවඳ ද්‍රව්‍ය සහ රත්රන් රාශියක් ද මැණික් ගල් පටවන ලද ඔටුවන් ද ඇති ව ජෙරුසලමට සැපත් වූවා ය. ඇය සලමොන් වෙත ගොස් තම සිතේ තිබූ සියල්ල ගැන ඔහු සමඟ කතා කළා ය.</verse>
				<verse number="3">සලමොන් ද ඇගේ සියලු ප්‍රශ්න ඈට විසඳා කී ය. ඈට තෝරා දිය නොහැකි වූ කිසි ප්‍රශ්නයක් රජුට නො වී ය; කිසිවක් ඔහුගෙන් සැඟවී තිබුණේ නැත.</verse>
				<verse number="4">ෂෙබාහි රැජින සලමොන්ගේ මහා ප්‍රඥා මහිමය ද ඔහු ගොඩනැඟුවාවූ මාලිගාව ද</verse>
				<verse number="5">ඔහුගේ මේසයේ ආහාර ද ඔහුගේ නිලධාරීන් අසුන් ගන්නා ආකාරය ද ඔහුගේ මෙහෙකරුවන් සේවයෙහි නිරත වන අන්දම ද සේවකයන් ලා සිටි අනගි ඇඳුම් ද ඔහුගේ කුසලාන දරන්නන් ද ඔහු විසින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පුද කරන ලද පූජා ද දුටු කල තුෂ්ණිම්භූත වූවා ය.</verse>
				<verse number="6">එවිට ඈ රජුට කතා කොට, “මාගේ දේශයේ දී ඔබේ ක්‍රියා හා ඔබේ ප්‍රඥාව ගැන මා ඇසූ ආරංචි සැබෑ ය.</verse>
				<verse number="7">එහෙත්, මම අවුත් මාගේ ඇසින් දකින තෙක් ඒ වචන විශ්වාස නොකෙළෙමි. සැබැවින් ම අඩක් වත් මට නොකියන ලද්දේ ය. ඔබේ ප්‍රඥා මහිමයත්, සෞභාග්‍යයත් මා ඇසූ කීර්තියේ ප්‍රමාණයටත් වඩා උසස් ව තිබේ.</verse>
				<verse number="8">ඔබේ භාර්යාවෝ‍ වාසනාවන්තියෝ ය. නිතර ම ඔබ ඉදිරියෙහි ඔබේ ප්‍රඥාව අසන මේ ඔබේ සේවකයෝ වාසනාවන්තයෝ ය.</verse>
				<verse number="9">ඉශ්රායෙල්වරුන්ගේ සිංහාසනය පිට ඔබ පත් කරන පිණිස ඔබ කෙරෙහි ප්‍රසන්න වූ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! සමිඳාණන් වහන්සේ සැම කල්හි ම ඉශ්රායෙල්වරුන්ට ප්‍රේම කළ බැවින් විනිශ්චයත්, යුක්තියත් ඉෂ්ට කරන්නට උන් වහන්සේ ඔබ රජ කොට පත් කළ සේකැ”යි කීවා ය.</verse>
				<verse number="10">තවද, ඈ රන් කිලෝග්‍රෑම් හාරදහසක් ද සුවඳ ද්‍රව්‍ය මහත් රාශියක් ද මැණික් ගල් ද රජුට දුන්නා ය. ෂෙබාහි රැජින සලමොන් රජුට දුන් ඒ සුවඳ ද්‍රව්‍ය හා සමාන කළ හැකි සුවඳ ද්‍රව්‍ය තවත් නොලැබුණේ ය.</verse>
				<verse number="11">ඕපීර් දේශයේ සිට රත්රන් ගෙනා හීරාම්ගේ නැව්වලින් හඳුන් ලී මහත් රාශියක් හා මැණික් ගල් ඕපීර් දේශයෙන් ගෙනෙන ලදී.</verse>
				<verse number="12">රජ ඒ හඳුන් ලීවලින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවටත්, රජ මාලිගාවටත් ගරාදි වැටවල් සහ ගායකයන්ට වීණා ද කුඩා වීණා ද සෑදවී ය. ඒ ආකාර හඳුන් ලී අද දවස දක්වා තවත් ගෙනාවේ වත්, දකින්න ලැබුණේ වත් නැත.</verse>
				<verse number="13">සලමොන් රජ ස්වකීය රාජකීය ත්‍යාගිවන්තකමෙන් ෂෙබාහි රැජිනට දුන් දේවල් හැර ඈ හිතූ පැතූ සියල්ලත් ඇයට දුන්නේ ය. ඉක්බිති ඇය සහ ඇගේ සේවක පිරිස සිය රට බලා හැරී ගියෝ ය.</verse>
				<verse number="14">සලමොන් රජුට අවුරුද්දකට ලැබුණු රන්වල බර කිලෝග්‍රෑම් තුන්දාහකි.</verse>
				<verse number="15">මෙය ලැබුණේ, බඩු හුවමාරු කරගන්නන්ගෙන් ද වෙළෙඳුන්ගේ වෙළෙඳාමෙන් ද අරාබියේ සියලු රජවරුන්ගෙන් ද දේශයේ ආණ්ඩුකාරයන්ගෙන් ද ලැබුණු රන්වලට අමතරව ය.</verse>
				<verse number="16">සලමොන් රජ තෙම තැළූ රන් පලිස් දෙසියයක් සෑදී ය. එක එක පලිහ සෑදීමට තැළූ රන් කිලෝග්‍රෑම් හතක් යොදන ලදී.</verse>
				<verse number="17">ඔහු කුඩා පලිස් තුන්සියයකුත් තැළූ රනින් සෑදුවේ ය. එක එක කුඩා පලිහ සෑදීමට රන් කිලෝග්‍රෑම් තුනක් යොදන ලදී. රජ තෙම ලෙබනොන් ආරණ්‍යය නම් ශාලාවේ ඒවා තැබී ය.</verse>
				<verse number="18">තවද, රජ ඇත් දත්වලින් මහා සිංහාසනයක් සාදා තනිකර රනින් එය වැසී ය.</verse>
				<verse number="19">සිංහාසනයට පඩි හයක් තිබිණි. සිංහාසනයේ මුදුනට පිටුපසින් ගව හිස් සාදා තිබිණි. වාඩි වන ආසනය දෙපැත්තේ අත්ඇඳි සහ අත්ඇඳි ළඟ සිටගත් සිංහ රූප දෙකක් ද විය.</verse>
				<verse number="20">පඩි හය පිට දෙපැත්තේ සිටගත් සිංහ රූප දොළොසක් විය. එයාකාර සිංහාසනයක් කිනම් රාජ්‍යයක වත් නොතිබිණි.</verse>
				<verse number="21">සලමොන් රජුගේ පාන පාත්‍ර සියල්ල ම රනින් විය. ලෙබනොන් ආරණ්‍ය ශාලාවේ සියලු භාජනත් තනි රනින් විය. කිසිවක් රිදීයෙන් නො වී ය. රිදී වනාහි සලමොන් රජුගේ කාලයේ දී අගය කොට නොසලකන ලදී.</verse>
				<verse number="22">මන්ද, මුහුදු යාත්‍රා කරන හීරාම්ගේ නැව් කණ්ඩායම සමඟ වෙළෙඳ නැව් කණ්ඩායමක් රජුට විය. ඒ වෙළෙඳ නැව්වලින් රන් ද රිදී ද ඇත් දත් ද වඳුරන් හා රිළවුන් ද තුන් අවුරුද්දකට වරක් ගෙනාවේ ය.</verse>
				<verse number="23">මෙසේ සලමොන් රජ ධනසම්පතින් හා ප්‍රඥාවෙන් මිහි පිට සියලු රජුන්ට වඩා ශ්‍රේෂ්ඨ ව සිටියේ ය.</verse>
				<verse number="24">දෙවියන් වහන්සේ සලමොන්ගේ සිතේ නිදන් කළ ඔහුගේ ප්‍රඥාව අසන පිණිස සකල දේශවාසීහු ඔහු වෙත පැමිණියෝ ය.</verse>
				<verse number="25">ඔව්හු අවුරුද්දෙන් අවුරුද්ද තම තමන්ගේ තෑගි වන රිදී භාජන, රන් භාජන, වස්ත්‍ර, යුද්ධායුධ, සුවඳ ද්‍රව්‍ය, අශ්වයන් හා කොටළුවන් ගෙනාවෝ‍ ය.</verse>
				<verse number="26">සලමොන් රජ අශ්ව රථ සහ අසරුවන් ද එකතු කරගත්තේ ය. ඔහුට අශ්ව රථ එක්දහස් හාරසියයක් තිබිණි. අසරුවෝ‍ දොළොස්දහසක් සිටියෝ ය. රජ ඒවා රථ සඳහා සෑදූ නගරවල ද තමා ළඟ ජෙරුසලමේ ද තැබී ය.</verse>
				<verse number="27">තවද, රජ ජෙරුසලමෙහි වූ රිදී ගල් මෙන් ද, කිහිරි ගස්, මිටියාවතේ වූ අත්තික්කා ගස් මෙන් ද, ගණනින් වැඩි වන්නට සැලැස්වී ය.</verse>
				<verse number="28">සලමොන්ට සිටි අශ්වයෝ මිසරයෙන් ගෙනෙන ලද්දෝ ය. රජුගේ වෙළෙන්දෝ උන් මිසර දේශයෙන් නියම මිලකට ලබාගත්හ.</verse>
				<verse number="29">අශ්ව රථයක් රිදී කාසි හයසියයකටත්, අශ්වයෙකු එකසිය පණහකටත් මිසර දේශයෙන් ගෙනවුත් විකුණන්නට යෙදිණි. රජුගේ වෙළෙන්දෝ හිත්තීවරුන්ගේ සියලු රජුන්ටත්, සිරියාවේ රජුන්ටත් එලෙස ම ගෙනවුත් දුන්නෝ ය.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">සලමොන් රජ බොහෝ‍ විජාතික ස්ත්‍රීන්ට එනම්, පාරාවෝ‍ගේ දුව ඇතුළු මෝවබ්වරුන්ගේ ද අම්මොන්වරුන්ගේ ද ඒදොම්වරුන්ගේ ද සීදොන්වරුන්ගේ ද හිත්තීවරුන්ගේ ද කාන්තාවන් වන බොහෝ‍ විජාතික ස්ත්‍රීන්ට ඇළුම් ව සිටියේ ය.</verse>
				<verse number="2">‘සැබැවින් ම ඔවුන් නුඹලාගේ සිත් ඔවුන්ගේ දෙවිවරුන් වෙත හරවන බැවින් නුඹලා ඔවුන් අතරට නොයා යුතු ය; ඔවුන්ට නුඹලා අතරට එන්නට ඉඩ නොදිය යුතු ය’යි සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයාට යම් යම් ජාතීන් ගැන වදාළ සේක් ද, ඒ ඒ ජාතීන්ට සලමොන් රජ ස්නේහයෙන් ඇළුම් වූයේ ය.</verse>
				<verse number="3">ඔහුට රාජකීය, වංශවත්, භාර්යාවෝ‍ සත්සියයක් හා උපභාර්යාවෝ‍ තුන්සියයක් සිටියෝ ය. ඒ භාර්යාවෝ‍ ඔහුගේ සිත නොමඟ යැවූ හ.</verse>
				<verse number="4">එසේ ය, සලමොන් මහලු වූ කල ඒ භාර්යාවෝ‍ ඔහුගේ සිත අන් දෙවිවරුන් වෙත හැරෙවුවෝ‍ ය. ඔහුගේ සිත තමාගේ පිය දාවිත්ගේ සිත මෙන් තමාගේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසී ව නොතිබුණේ ය.</verse>
				<verse number="5">මන්ද, සලමොන් සීදොන්වරුන්ගේ දේවතාවිය වූ අෂ්ටාරොත් හා අම්මොන්වරුන්ගේ පිළිකුල සහිත මිල්කොම් අනුව ගොස්,</verse>
				<verse number="6">සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. ඔහු තමාගේ පිය දාවිත් මෙන් සමිඳාණන් වහන්සේ අනුව මුළු සිතින් ගමන් කෙළේ නැත.</verse>
				<verse number="7">එකල සලමොන් ජෙරුසලම ඉදිරියෙහි වූ කන්ද මත මෝවබ්වරුන්ගේ පිළිකුල් කටයුතු කෙමොෂ් දේවතාවාටත්, අම්මොන්වරුන්ගේ පිළිකුල් කටයුතු මොලෙක් දේවතාවාටත් ගිරිකුළු දේවාලයක් ගොඩනැඟී ය.</verse>
				<verse number="8">තම තමන්ගේ දෙවිවරුන්ට සුවඳ දුම් සහ පූජා ඔප්පු කළ තමාගේ සියලු විජාතික භාර්යාවන්ටත් ඔහු එසේ ම සාදා දුන්නේ ය.</verse>
				<verse number="9">මෙසේ සලමොන් තමාට දෙවරක් දර්ශනය වූ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙන් තම සිත අහක් කරගත් බැවින් සමිඳාණන් වහන්සේ ඔහු සමඟ උදහස් වූ සේක.</verse>
				<verse number="10">අන් දෙවිවරුන් පසුපස නොයන ලෙස තමාට අණ කළ සමිඳාණන් වහන්සේ ඔහුට අණ කළ දේට ඔහු කීකරු වූයේ නැත.</verse>
				<verse number="11">එබැවින් සමිඳාණන් වහන්සේ සලමොන්ට කතා කොට, “නුඹ මාගේ ගිවිසුම ද මා නුඹට අණ කළ මාගේ ආඥා ද නොපවත්වා මෙසේ කළ බැවින් සැබැවින් ම රාජ්‍යය නුඹෙන් උදුරා නුඹේ මෙහෙකරුවාට දෙන්නෙමි.</verse>
				<verse number="12">එහෙත්, නුඹේ පිය දාවිත් නිසා මම නුඹේ කාලයේ දී එය නොකොට, නුඹේ පුත්‍රයාගේ අතින් එය පැහැර ගන්නෙමි.</verse>
				<verse number="13">තවද, මුළු රාජ්‍යය පැහැර නොගෙන මාගේ මෙහෙකරු වූ දාවිත් නිසාත්, මා තෝරාගත් ජෙරුසලම නිසාත් නුඹේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="14">සමිඳාණන් වහන්සේ සලමොන් රජු හට විරුද්ධකාරයෙකු කොට ඒදොම් ජාතික හදද් නම් තැනැත්තා එවූ සේක. ඔහු ඒදොම් රාජ වංශයේ කෙනෙකි.</verse>
				<verse number="15">දාවිත් ඒදොම්හි සිටිය දී ඒදොම්හි සියලු පිරිමින් මරාදැමූ පසු, මැරුම්කෑ තැනැත්තන් භූමදාන කරන පිණිස සෙන්පති ජෝවාබ් ගිය කල මෙසේ විය.</verse>
				<verse number="16">එනම්, ජෝවාබ් හා සියලු ඉශ්රායෙල්වරු ඒදොම්හි සියලු පිරිමින් මරා දමන තුරු එහි හය මාසයක් නැවතී සිටියෝ ය.</verse>
				<verse number="17">එහෙත්, හදද් සහ ඔහු සමඟ ඔහුගේ පියාගේ සේවකයන්ගෙන් ඒදොම්හි සමහර මනුෂ්‍යයෝ මිසරයට යන පිණිස පලා ගියෝ ය. මෙකල හදද් කුඩා ළමයෙකි.</verse>
				<verse number="18">ඔව්හු මිදියන් දේශයෙන් පිටත් ව පාරාන් දේශයට පැමිණ, පාරාන් දේශයෙන් මිනිසුන් කැඳවාගෙන, මිසරයේ රජ වූ පාරාවෝ‍ වෙත මිසරයට ගියෝ ය. රජ තෙම ඔහුට වාසස්ථානයක් දී, ආහාර පාන නියම කොට, ගම්බිම් ද දුන්නේ ය.</verse>
				<verse number="19">පාරාවෝ‍ හදද් කෙරෙහි ඉතා ප්‍රසන්න ව සිටි බැවින් තම බිරිඳගේ සහෝදරී වන තාපෙනෙස් රැජිනගේ සහෝදරී ඔහුට බිරිඳ කොට දුන්නේ ය.</verse>
				<verse number="20">තාපෙනෙස් රැජිනගේ සහෝදරී ඔහුගෙන් ගෙනුබත් නම් පුත්‍රයා ලැබුවා ය. තාපෙනෙස් පාරාවෝ‍ගේ මාලිගාවේ දී ඔහු ඇතිදැඩි කළා ය. ගෙනුබත් පාරාවෝ‍ගේ මාලිගාවෙහි පාරාවෝ‍ගේ පුත්‍රයන් අතර ජීවත් විය.</verse>
				<verse number="21">දාවිත් රජු මියගිය බවත්, ජෝවාබ් සෙන්පති මළ බවත් හදද් මිසරයේ දී අසා, “මාගේ රටට යන්නට මා හැරිය මැනව”යි පාරාවෝ‍ට කී ය.</verse>
				<verse number="22">එවිට පාරාවෝ‍ ඔහුට කතා කොට, “ඔබේ රටට යන්න හදන්නේ මා ළඟ ඔබට මොන හිඟයක් නිසා දැ”යි ඇසී ය. “හිඟයක් නැත, එහෙත්, කෙසේ වුව ද මට යන්නට අවසර දුන මැනව”යි ඔහු උත්තර දිනි.</verse>
				<verse number="23">දෙවියන් වහන්සේ ඔහුට තවත් විරුද්ධකාරයෙකු එවූ සේක. එනම්, තම ස්වාමීන් වූ ශෝබායේ රජ වූ හදද්-එශෙර් වෙතින් පලා ගිය එලියාදාගේ පුත්‍ර වූ රෙශොන් ය.</verse>
				<verse number="24">දාවිත් ශෝබායේ මිනිසුන් මරාදමන කල ඔහු තමා ළඟට මිනිසුන් කීප දෙනෙකු රැස් කරගෙන මංකොල්ලකාර හමුදාවක අධිපතියා විය. ඔව්හු දමස්කයට ගොස් එහි වාසය කරමින් දමස්කයෙහි රජකම් කළෝ ය.</verse>
				<verse number="25">හදද් කළ අනතුර හැර සලමොන්ගේ මුළු කාලයේ දී ම ඔහු ඉශ්රායෙල්වරුන්ට සතුරෙකු ව සිට, ඉශ්රායෙල්වරුන් පිළිකුල් කොට ඒදොම් රටේ රජකම් කෙළේ ය.</verse>
				<verse number="26">ශෙරේදායේ එප්‍රායිම් ජාතිකයෙකු වූ නෙබාත්ගේ පුත්‍ර වූ ද සලමොන්ගේ සේවකයෙකු වූ ද ජෙරොබෝවම්, රජුට විරුද්ධ ව කැරලි ගැසී ය. වැන්දඹු ස්ත්‍රියක ව සිටි ඔහුගේ මවගේ නම ශෙරුවා ය.</verse>
				<verse number="27">ඔහු රජුට විරුද්ධ ව කැරලි ගැසුවේ මෙලෙස ය: සලමොන් මිල්ලෝ ගොඩනඟමින් ද තම පිය දාවිත්ගේ නුවර ප්‍රාකාරයේ කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය කරමින් ද සිටියේ ය.</verse>
				<verse number="28">ජෙරොබෝවම් බලසම්පන්න මනුෂ්‍යයෙකි. සලමොන් ඒ තරුණයා කඩිසර කෙනෙකු බව දැක ජෝසෙප්ගේ ගෝත්‍රයට නියම වූ වහල් වැඩ සියල්ල කෙරෙහි ඔහු පත් කෙළේ ය.</verse>
				<verse number="29">ඒ කාලයේ දී ජෙරොබෝවම් ජෙරුසලමෙන් පිටතට යන කල, අලුත් සළුවක් පොරවාගෙන සිටි ෂිලෝහි අහියා නම් දිවැසිවරයාට ඔහු මඟ දී සම්බ විය. ඒ දෙදෙනා පමණක් කෙතෙහි සිටියෝ ය.</verse>
				<verse number="30">අහියා තමා ඇඳ සිටි අලුත් සළුව ගෙන කෑලි දොළොසකට ඉරා,</verse>
				<verse number="31">ජෙරොබෝවම්ට කතා කොට මෙසේ කී ය: “ඔබ කෑලි දහයක් ගන්න, මන්ද, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක, ‘මම සලමොන්ගේ රාජ්‍යය පැහැරගෙන ඔබට ගෝත්‍ර දසයක් දෙන්නෙමි.</verse>
				<verse number="32">එක ගෝත්‍රයක් මාගේ මෙහෙකරු දාවිත් නිසාත්, ඉශ්රායෙල්වරුන්ගේ සියලු ගෝත්‍රවලින් මා විසින් තෝරාගන්න ලද නුවර වන ජෙරුසලම නිසාත් ඔහුට වන්නේ ය.</verse>
				<verse number="33">මා මෙසේ කරන්නේ, සලමොන් ඔහුගේ පිය වූ දාවිත් මෙන් මාගේ ඇස් හමුවෙහි හරි දේ ද මාගේ පණත් ද විනිශ්චයයන් ද ඉෂ්ට නොකරමින්, මාගේ මාර්ගවල නොහැසිර, මා අත්හැර සීදොන්වරුන්ගේ දේවතාවිය වූ අෂ්ටාරොත්ට ද මෝවබ්වරුන්ගේ දේවතාවා වූ කෙමොෂ්ට ද අම්මොන්වරුන්ගේ දේවතාවා වූ මිල්කොම්ට ද නමස්කාර කළ නිසා ය.</verse>
				<verse number="34">එහෙත්, මම මුළු රාජ්‍යය ඔහුගේ අතින් නොගෙන මා විසින් තෝරාගන්න ලද, මාගේ ආඥා හා පණත් රක්ෂා කළ, මාගේ මෙහෙකරු වූ දාවිත් නිසා ඔහුගේ මුළු ජීවිත කාලය තුළ අධිපති ව සිටින්න ඔහුට ඉඩ හරින්නෙමි.</verse>
				<verse number="35">එහෙත්, ඔහුගේ පුත්‍රයා අතින් රාජ්‍යය ගෙන ගෝත්‍ර දහයක් ඔබට දෙන්නෙමි.</verse>
				<verse number="36">මාගේ නාමය තබන්නට මා විසින් තෝරාගන්න ලද නගරය වන ජෙරුසලමේ මාගේ මෙහෙකරු වූ දාවිත්ගේ වංශයෙන් පැවතෙන්නෙකු මා ඉදිරියෙහි සිටින පිණිස මම ඔහුගේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමි.</verse>
				<verse number="37">නුඹ කැමැති සියල්ල කෙරෙහි නුඹ රජකම් කරමින් ඉශ්රායෙල්වරුන්ගේ රජ වන පිණිස නුඹ පිළිගන්නෙමි.</verse>
				<verse number="38">මාගේ මෙහෙකරු වූ දාවිත් කළ පරිදි නුඹ මාගේ ආඥා හා පණත් රක්ෂා කරමින්, මා නුඹට අණ කරන සියල්ලට ඇහුම්කන් දී, මාගේ මාර්ගවල හැසිර මාගේ ඇස් හමුයෙහි හරි දේ කරන්නෙහි නම්, මම නුඹ සමඟ සිට දාවිත්ට ස්ථීර වූ පෙළපතක් ගොඩනඟා දුන් ලෙස නුඹටත් ගොඩනඟා දී ඉශ්රායෙල්වරුන් නුඹට භාර දෙන්නෙමි.</verse>
				<verse number="39">මෙලෙස සලමොන්ගේ පාපය නිසා දාවිත්ගේ වංශයට පීඩා කරන්නෙමි. එහෙත්, එය සදහට ම නොවනු ඇත.’ “</verse>
				<verse number="40">මේ නිසා සලමොන් ජෙරොබෝවම් මරන්නට සෙවී ය. එහෙත්, ජෙරොබෝවම් පිටත් වී මිසරයේ රජු වූ ෂීෂක් වෙත මිසරයට පලා ගොස් සලමොන්ගේ මරණය දක්වා එහි සිටියේ ය.</verse>
				<verse number="41">සලමොන්ගේ ජීවිතයේ සෙසු කරුණු ද ඔහු කළ සියල්ල ද ඔහුගේ ප්‍රඥාව ගැන ද සලමොන්ගේ ක්‍රියා සඳහන් ඉතිහාස ග්‍රන්ථයේ ලියා නොතිබේ ද?</verse>
				<verse number="42">සලමොන් ජෙරුසලමේ මුළු ඉශ්රායෙල් දේශයෙහි රජකම් කළ කාලය සතළිස් අවුරුද්දකි.</verse>
				<verse number="43">ඔහු මරණයට පත් වූ පසු තම පිය දාවිත්ගේ නුවර භූමදාන කරන ලදී. ඔහුගේ පුත් වූ රෙහොබෝවම් ඔහු වෙනුවට රජ විය.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">රෙහොබෝවම් ෂෙකෙම් නම් ස්ථානයට ගියේ ය. මන්ද, ඔහු රජ කොට පත් කරන පිණිස සියලු ඉශ්රායෙල්වරුන් ෂෙකෙම්ට පැමිණි බැවිනි.</verse>
				<verse number="2">තවද, සලමොන් රජු කෙරෙන් පලා ගොස් මිසර දේශයෙහි වාසය කළ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් මිසරයෙහි සිටිය දී ම ඒ බව ඔහුට සැළ විය.</verse>
				<verse number="3">මිනිස්සු පණිවුඩයක් යවා ඔහු ගෙන්වාගත්හ.</verse>
				<verse number="4">ජෙරොබෝවම් හා මුළු ඉශ්රායෙල් සභාව පැමිණ, රෙහොබෝවම්ට කතා කොට, “ඔබේ පියාණෝ අප පිට බර වියගහක් තැබූ හ. එබැවින් ඔබේ පියාණන් පැවරූ දුෂ්කර සේවය ද ඔහු අප පිට තැබූ බර වියගහ ද සැහැල්ලු කළ මැනව. එවිට අපි ඔබට සේවය කරන්නෙමු”යි කීවෝ‍ ය.</verse>
				<verse number="5">“ඔබ ගොස් තුන් දවසකින් මා ළඟට නැවත එන්නැ”යි ඔහු ඔවුන්ට කී විට සෙනඟ පිටත් ව ගියහ.</verse>
				<verse number="6">රෙහොබෝවම් රජ තම පිය සලමොන් ජීවත් ව සිටිය දී ඔහුට උපදෙස් දුන් ප්‍රජා මූලිකයන් සමඟ මන්ත්‍රණය කරමින්, “මේ සෙනඟට උත්තර දෙන පිණිස ඔබ මට දෙන දැනුමැතිකම කුමක් දැ”යි ඇසී ය.</verse>
				<verse number="7">ඔව්හු ද පිළිතුරු දෙමින්, “ඔබ අද මේ සෙනඟට සේවකයෙකු වී, ඔවුන්ට සේවය කොට, ප්‍රිය වචනයෙන් ඔවුන්ට කතා කරමින් උත්තර දෙන්නෙහි නම්, ඔවුන් සෑම කල්හි ඔබේ සේවකයන් වනු ඇතැ”යි කී හ.</verse>
				<verse number="8">එහෙත්, ප්‍රජා මූලිකයන් ඔහුට දුන් දැනුමැතිකම ඔහු අත්හැර, තමා සමඟ වැඩුණු තමන්ට උපදේශ දුන් තරුණයන් සමඟ මන්ත්‍රණය කරමින්,</verse>
				<verse number="9">ඔවුන්ට කතා කොට, “ ‘ඔබේ පියාණන් අප පිට තැබූ වියගහ සැහැල්ලු කළ මැනව’යි මට කී සෙනඟට මා උත්තර දෙන පිණිස ඔබ මන්ත්‍රණය කර කියන්නේ කුමක් දැ”යි ඔවුන්ගෙන් ඇසී ය.</verse>
				<verse number="10">ඔහු සමඟ වැඩුණු තරුණයෝ ඔහුට කතා කොට, “ ‘ඔබේ පියාණෝ අප පිට බර වියගහක් තැබූ හ. එහෙත්, ඔබ එය අපට සැහැල්ලු කළ මැනව’යි ඔබට කී මේ සෙනඟට ඔබ මෙසේ කිව යුතු ය: ‘මාගේ පියාණන්ගේ තුනටියට වඩා මාගේ සුළැඟිල්ල ලොකු ය.</verse>
				<verse number="11">එසේ ය, මාගේ පියාණෝ ඔබ පිට බර වියගහක් තැබූ හ. මම වනාහි ඔබේ වියගහ තව වඩා බර කරන්නෙමි. මාගේ පියාණෝ, සාමාන්‍ය කසවලින් ඔබට දඬුවම් කළහ. මම කටු කසවලින් ඔබට දඬුවම් කරන්නෙමි’යි ඔවුන්ට දැන්විය යුතු ය”යි කී හ.</verse>
				<verse number="12">‘තුන් වන දින නැවත මා ළඟට එන්න’ කියා රජු නියම කළ හැටියට ජෙරොබෝවම් හා මුළු සෙනඟ තුන් වන දින රෙහොබෝවම් ළඟට පැමිණියහ.</verse>
				<verse number="13">රජ ද ප්‍රජා මූලිකයන් ඔහුට දුන් දැනුමැතිකම අත්හැර,</verse>
				<verse number="14">සෙනඟට තදින් උත්තර දෙමින්, තරුණයන්ගේ දැනුමැතිකමේ හැටියට ඔවුන්ට කතා කොට, “මාගේ පියාණෝ ඔබ පිට බර වියගහක් තැබූ හ. එහෙත්, මම ඔබේ වියගහ තව වඩා බර කරන්නෙමි. මාගේ පියාණෝ සාමාන්‍ය කසවලින් ඔබට දඬුවම් කළහ. මම වනාහි කටු කසවලින් දඬුවම් කරන්නෙමි”යි කී ය.</verse>
				<verse number="15">මෙසේ රජ සෙනඟට ඇහුම්කන් නුදුන්නේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ෂිලෝහි අහියා ලවා නෙබාත්ගේ පුත්‍ර වූ ජෙරොබෝවම්ට දෙන ලද තමන්ගේ පණිවුඩය ඉෂ්ට කරන පිණිස ඒ කරුණු එලෙස උන් වහන්සේගෙන් විය.</verse>
				<verse number="16">සියලු ඉශ්රායෙල්වරු රජු තමන්ට ඇහුම්කන් නුදුන් බව දුටු කල, රජුට උත්තර දෙමින්, “දාවිත්ගෙන් අපට ඇති කොටස කුමක් ද? ජෙස්සේගේ පුතුගෙන් අපට උරුමයක් නැත. ඉශ්රායෙල්වරුනි, ඔබේ ගෙවලට යන්න. ඉතින් දාවිත් රජතුමෙනි, ඔබ ඔබේ ම ගෝත්‍රය බලාගන්නැ”යි කියා තම තමන්ගේ ගෙවලට ගියෝ ය.</verse>
				<verse number="17">එහෙත්, ජුදා නගරවල විසූ ඉශ්රායෙල් ජනයා කෙරෙහි රෙහොබෝවම් රජකම් කෙළේ ය.</verse>
				<verse number="18">එවිට රෙහොබෝවම් රජ රාජකාරියේ නිලධාරියා වන අදොරාම් යැවී ය. සියලු ඉශ්රායෙල්වරු ඔහුට ගල් ගසා ඔහු මරණයට පත් කළෝ ය. එසේ වූ විට රෙහොබෝවම් රජ ජෙරුසලමට පලා යන පිණිස ඉක්මනින් රථයට නැඟුණේ ය.</verse>
				<verse number="19">මෙසේ අද දක්වා තිබෙන පරිදි ඉශ්රායෙල්වරු දාවිත්ගේ වංශයට විරුද්ධ ව කැරලි ගසන්න වූ හ.</verse>
				<verse number="20">ජෙරොබෝවම් නැවත පැමිණි බව සියලු ඉශ්රායෙල්වරු අසා, සභාවට ඔහු ගෙන්වාගෙන, සියලු ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඔහු රජ කොට පත් කළෝ ය. ජුදා ගෝත්‍රය මිස දාවිත්ගේ වංශයට පක්ෂපාත වූ වෙන කිසිවෙක් නො වූ හ.</verse>
				<verse number="21">සලමොන්ගේ පුත්‍ර වන රෙහොබෝවම් ජෙරුසලමට පැමිණි විට, ඉශ්රායෙල් වංශයට විරුද්ධ ව යුද්ධ කොට, තමාට රාජ්‍යය නැවත දිනාගනු පිණිස, මුළු ජුදා ගෝත්‍රයෙන් හා බෙන්‍ජමින් ගෝත්‍රයෙන් යුද්ධ භටයන් එක්ලක්ෂ අසූදහසක් රැස් කෙළේ ය.</verse>
				<verse number="22">එහෙත්, දෙවියන් වහන්සේගේ පණිවුඩය උන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන ෂෙමායා වෙත පැමිණ,</verse>
				<verse number="23">“නුඹ සලමොන්ගේ පුත්‍ර ජුදාහි රජ වන රෙහොබෝවම්ටත්, මුළු ජුදා ගෝත්‍රයටත් බෙන්‍ජමින් ගෝත්‍රයටත්, ඉතිරි, සෙනඟටත් කතා කොට මෙසේ කියන්න,</verse>
				<verse number="24">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ඉශ්රායෙල් ජනයා වන නුඹලාගේ සහෝදරයන්ට විරුද්ධ ව යුද්ධ නොකරන්න. එක් එක්කෙනා තම තමාගේ ගෙදරට හැරී යන්න. මන්ද, මේ කාරණය පැමුණුණේ සමිඳාණන් වහන්සේ වන මගෙන් යැ”යි දැන්වී ය. මෙසේ ඔව්හු සමිඳාණන් වහන්සේගේ පණිවුඩයට ඇහුම්කන් දී උන් වහන්සේගේ පණිවුඩය ලෙස හැරී ගියෝ ය.</verse>
				<verse number="25">ජෙරොබෝවම් එප්‍රායිම් කඳු රටෙහි ෂෙකෙම් ගොඩනඟා එහි වාසය කෙළේ ය. ඔහු එතැනින් ගොස් පෙනුයෙල් නගරය ශක්තිමත් කෙළේ ය.</verse>
				<verse number="26">තවද, ජෙරොබෝවම් කල්පනා කරමින්, ‘දැන් තිබෙන තත්ත්වය අනුව මේ රාජ්‍යයේ සෙනඟ දාවිත්ගේ වංශයට හැරී යනු ඇත.</verse>
				<verse number="27">මේ සෙනඟ ජෙරුසලමේ තිබෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පූජා ඔප්පු කරන්න ගියොත්, මේ සෙනඟගේ සිත් තම ස්වාමීන් වූ ජුදාවරුන්ගේ රජ වන රෙහොබෝවම් වෙත ඇදී යන්නේ ය, එවිට ඔවුන් මා මරාදමා ජුදාහි රජ වන රෙහොබෝවම් වෙත හැරී යනු ඇතැ’යි සිතී ය.</verse>
				<verse number="28">මෙසේ රජ කල්පනා කොට රන් වස්සන් දෙන්නෙකු සාදා සෙනඟට කතා කොට, “පූජා කිරීම පිණිස ඔබ ජෙරුසලමට මෙතෙක් කල් ගියා ඇති. ඉශ්රායෙල්වරුනි, මිසර දේශයෙන් ඔබ ගෙනා ඔබේ දෙවිවරු මේ ය”යි ඔවුන්ට කී ය.</verse>
				<verse number="29">ඔහු එකෙකු බෙතෙල්හි සිටුවා අනිකා දාන්හි තැබී ය.</verse>
				<verse number="30">මෙසේ කිරීම පාපයක් විය. මන්ද, මිනිස්සු ඒ ඉදිරියෙහි වඳින පිණිස දාන් දක්වා ගියෝ ය.</verse>
				<verse number="31">තවද, ඔහු ගිරිකුළු දේවාල සාදා, ලෙවීගේ වංශයට අයත් නුවූ අය මුළු සෙනඟ අතරෙන් පූජකයන් වශයෙන් පත් කෙළේ ය.</verse>
				<verse number="32">ජුදාහි පවත්වන මංගල්‍යය මෙන් ජෙරොබෝවම් අට වන මාසයේ පසළොස් වන දින මංගල්‍යයක් නියම කොට පූජාසනය පිට පූජා ඔප්පු කෙළේ ය. ඔහු බෙතෙල්හිදීත් එසේ ම කරමින් තමා සෑදූ වස්සන්ට පූජා කෙළේ ය. ඔහු තමා සෑදූ ගිරිකුළු දේවාලවල පූජකයන් බෙතෙල්හි සිටෙවුවේ ය.</verse>
				<verse number="33">ඔහු බෙතෙල්හි සෑදූ පූජාසනයට තමා ම නියම කරගත් මාසය වන අට වන මාසේ පසළොස් වන දින ගොස්, ඉශ්රායෙල් ජනයාට මංගල්‍යයක් නියම කොට, සුවඳ දුම් ඔප්පු කරන පිණිස පූජාසනය වෙත ගියේ ය.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">ජෙරොබෝවම් සුවඳ පූජා ඔප්පුකරමින්පූජාසනය ළඟ සිටිද්දී දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක්, සමිඳාණන් වහන්සේගේ ආඥාව පිට ජුදා සිට බෙතෙල් නගරයට පැමිණ,</verse>
				<verse number="2">උන් වහන්සේගේ ආඥාව පිට පූජාසනයට විරුද්ධ ව ප්‍රසිද්ධියේ චෝදනා කරමින්, “එම්බා පූජාසනය, පූජාසනය, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ජොසියා නම් පුත්‍රයෙක් දාවිත්ගේ වංශයට ඉපිද, කඳු මත පූජාස්ථානවල සුවඳ පූජා ඔප්පු කරන පූජකයන් මේ පූජාසනය පිට පූජා කරන්නේ ය; මිනීඇට ද තා පිට දවනු ලබන්නේ ය’ ”යි පැවසී ය.</verse>
				<verse number="3">ඔහු එම දවසේ ලකුණක් දෙමින්, “සමිඳාණන් වහන්සේ වදාළ ලකුණ නම්, ‘පූජාසනය පැළී එය පිට තිබෙන අළු විසිරී වැටීම ය’ ”යි කී ය.</verse>
				<verse number="4">දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා බෙතෙල්හි පූජාසනයට විරුද්ධ ව ප්‍රසිද්ධියේ චෝදනා කරමින් කී වචන ජෙරොබෝවම් රජු ඇසූ විට, ඔහු පූජාසනය වෙතින් තමාගේ අත දිගු කර, “ඔහු අල්ලාගනිව් ය”යි කීවේ ය. ඔහුට විරුද්ධ ව රජතුමා දිගු කළ තමාගේ අත, ආපසු නමා ගන්න බැරි ලෙස කොර විය.</verse>
				<verse number="5">තවද, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා සමිඳාණන් වහන්සේගේ අණ පරිදි, දුන් ලකුණ හැටියට පූජාසනය පැළී, අළු පූජාසනයෙන් විසිරී වැටිණි.</verse>
				<verse number="6">රජ තෙම දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාට කතා කොට, “මාගේ අත සුව වන පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට කන්නලව් කර මා උදෙසා යාච්ඤා කරන්නැ”යි කී ය. ඒ මනුෂ්‍යයා ද සමිඳාණන් වහන්සේට කන්නලව් කළ විට රජුගේ අත සුව වී පෙර තිබුණාක් මෙන් විය.</verse>
				<verse number="7">රජ ද, “මා සමඟ ගෙදරට පැමිණ විඩා හැරගන්න; ඔබට තුටු පඬුරක් දෙමි”යි ඒ මනුෂ්‍යයාට කීවේ ය.</verse>
				<verse number="8">එවිට ඒ මනුෂ්‍යයා, “ඔබේ ගෙයින් දෙකෙන් පංගුවක් මට දෙතත් මම ඔබ සමඟ එහි නොයමි. මේ ස්ථානයේ දී මා කිසිවක් කන්නේ වත්, වතුර බොන්නේ වත් නැත.</verse>
				<verse number="9">මන්ද, සමිඳාණන් වහන්සේගේ පණිවුඩයෙන් මට මෙසේ අණ කොට, ‘නුඹ කිසිවක් කන්න වත්, වතුර බොන්න වත්, ආ මගින් හැරී යන්න වත් එපා ය’කියා මට දන්වන ලද්දේ ය”යි රජුට කී ය.</verse>
				<verse number="10">මෙසේ ඔහු බෙතෙල් නගරයට පැමිණි මාර්ගයෙන් නැවත නොගොස් වෙන මාර්ගයකින් ගියේ ය.</verse>
				<verse number="11">බෙතෙල්හි මහලු දිවැසිවරයෙක් වාසය කෙළේ ය. ඔහුගේ එක් පුත්‍රයෙක් අවුත් දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා එදා බෙතෙල්හි දී කළ සියලු ක්‍රියා ඔහුට දැන්වී ය. ඒ මනුෂ්‍යයා විසින් රජුට කියන ලද වචන ද ඔව්හු තම පියාට කී හ.</verse>
				<verse number="12">ඔවුන්ගේ පියා ද, “ඔහු කොයි මගින් ගියේ දැ”යි තම පුත්‍රයන්ගෙන් ඇසී ය. ජුදාහි සිට පැමිණි දෙවියන් වහන්සේට කැප වූ ඒ මනුෂ්‍යයා ගිය මාර්ගය ඔහුගේ පුත්‍රයන් විසින් දක්නා ලද්දේ ය.</verse>
				<verse number="13">“මට යෑමට සෑදලය යොදා කොටළුවා සූදානම් කර දෙන්නැ”යි ඔහු තම පුත්‍රයන්ට කී ය. ඔවුන් කොටළුවාගේ සෑදලය යොදා ඌ සූදානම් කර ඔහුට දුන් විට, ඔහු ඌ පිට නැඟී,</verse>
				<verse number="14">දෙවියන් වහන්සේට කැප වූ ඒ මනුෂ්‍යයා පසුපස ගොස්, ඔහු ආලෝන ගසක් යට වාඩි වී සිටිනු දැක, “ජුදා සිට පැමිණි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ඔබ දැ”යි ඔහුගෙන් ඇසී ය. “ඒ මම ය”යි ඔහු කී විට,</verse>
				<verse number="15">“මා සමඟ ගෙදර අවුත් කෑම කන්නැ”යි ඔහුට කී ය.</verse>
				<verse number="16">ඔහු ද පිළිතුරු දෙමින්, “ඔබ සමඟ හැරී එන්න වත්, ඔබේ ගෙදරට ඇතුළු වන්න වත් මට නොපිළිවන. මේ ස්ථානයේ දී ඔබ සමඟ කෑම නොකමි, වතුර ද නොබොමි.</verse>
				<verse number="17">මන්ද, ‘නුඹ එහිදී කෑම කන්න වත්, වතුර බොන්න වත්, නුඹ යන මාර්ගයෙන් හැරී එන්න වත් එපා ය’ කියා සමිඳාණන් වහන්සේගේ පණිවුඩයෙන් මට කියන ලද්දේ ය”යි සැළ කෙළේ ය.</verse>
				<verse number="18">එවිට ඔහු, “මමත් ඔබ මෙන් ම දිවැසිවරයෙක්මි, දේව දූතයෙක් සමිඳාණන් වහන්සේගේ වචනයෙන් මට කතා කොට, ‘ඔහු කෑම කන පිණිසත්, වතුර බොන පිණිසත් ඔබේ ගෙදරට කැඳවාගෙන එන්න’ කියා දැන්වී ය”යි පැවසී ය. ඔහු ඒ තැනැත්තාට මෙසේ කීවේ බොරුවකි.</verse>
				<verse number="19">එවිට ඔහු මේ තැනැත්තා සමඟ ආපසු ගොස් ඔහුගේ ගෙදර කෑම කා වතුර බීවේ ය.</verse>
				<verse number="20">ඔවුන් මෙසේ හිඳින කල ඒ තැනැත්තා ආපසු කැඳවාගෙන ආ දිවැසිවරයා වෙත සමිඳාණන් වහන්සේගේ පණිවුඩය පැමුණුණේ ය.</verse>
				<verse number="21">ජුදාහි සිට පැමිණි දෙවියන් වහන්සේට කැප වූ ඒ මනුෂ්‍යයාට ඔහු කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹ සමිඳාණන් වහන්සේගේ පණිවුඩයට අකීකරු වී, නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹට අණ කළ ආඥාව රක්ෂා නොකොට,</verse>
				<verse number="22">හැරී අවුත්, යම් ස්ථානයක දී කෑම කන්න වත්, වතුර බොන්න වත් එපා යයි නුඹට වදාළ සේක් ද, ඒ ස්ථානයෙහි දී නුඹ කෑම කා, වතුර බිවු නිසා, නුඹේ මළකඳ නුඹේ පියවරුන්ගේ සොහොන් ගෙට නොපැමිණෙන්නේ ය’ “යි කී ය.</verse>
				<verse number="23">තවද, ඔහු ආහාර පාන වැළඳූ පසු ඔහු විසින් ආපසු කැඳවාගෙන එන ලද දිවැසිවරයාට යෑම සඳහා කොටළුවාට සෑදලය යොදන ලදී.</verse>
				<verse number="24">ඔහු පිටත් ව ගිය පසු මාර්ගයේ දී සිංහයෙක් ඔහුට සම්බ වී ඔහු මැරුවේ ය. ඔහුගේ මළකඳ මාර්ගයෙහි දමනු ලැබූ විට කොටළුවා සහ සිංහයා ඒ ළඟ සිටියෝ ය.</verse>
				<verse number="25">ඒ ළඟින් ගිය මනුෂ්‍යයෝ මළකඳ මාර්ගයෙහි වැටී තිබෙන බව ද සිංහයා මළකඳ ළඟ සිටින බව ද දැක මහලු දිවැසිවරයා විසූ නගරයට අවුත් ඒ බව කී හ.</verse>
				<verse number="26">මාර්ගයෙන් ඔහු කැඳවාගත් දිවැසිවරයා එපවත් අසා, “ඒ වනාහි සමිඳාණන් වහන්සේගේ පණිවුඩයට අකීකරු වූ දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ය. එබැවින් සමිඳාණන් වහන්සේ ඔහුට දුන් පණිවුඩය ලෙස උන් වහන්සේ ඔහු සිංහයාට පාවා දුන් සේක. ඌ ඔහු ඉරා මරා දැමී ය”යි කී ය.</verse>
				<verse number="27">තවද, ඔහු “කොටළුවාට සෑදලය යොදන්නැ”යි තම පුත්‍රයන්ට කියා, ඔවුන් එලෙස කළ පසු ඔහු ගියේ ය.</verse>
				<verse number="28">එවිට මළකඳ මාර්ගයෙහි වැටී තිබෙනවාත්, කොටළුවා හා සිංහයා ද මළකඳ ළඟ සිටිනවාත් ඔහුට සම්බ විය. සිංහයා මළකඳ කා තිබුණේ වත්, කොටළුවා ඉරා දමා තිබුණේ වත් නැත.</verse>
				<verse number="29">ඒ මහලු දිවැසිවරයා ද දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ගැන වැලපී, ඔහු තැන්පත් කරන පිණිස ඔහුගේ මළකඳ ඔසවා කොටළුවා පිට තබා, සිය නගරයට ගෙන ගොස්,</verse>
				<verse number="30">තමාගේ ම සොහොන් ගෙයි තැබී ය. ඔහු ද, “අහෝ, මාගේ සහෝදරය” කියා ඔහු ගැන වැලපුණේ ය.</verse>
				<verse number="31">තවද, ඒ මහලු දිවැසිවරයා ඔහු තැන්පත් කළ පසු තමාගේ පුත්‍රයන්ට කතා කොට, “මා මැරුණ විට දෙවියන් වහන්සේට කැප වූ ඒ මනුෂ්‍යයා තැන්පත් කරන ලද සොහොන් ගෙයි මාත් තැන්පත් කරන්න; ඔහුගේ ඇටකටු ළඟ මාගේ ඇටකටු ද තබන්න.</verse>
				<verse number="32">මන්ද, ඔහු බෙතෙල්හි පූජාසනයටත්, සමාරියේ නගරවල කඳු මත පූජාස්ථානවලටත් විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ ආඥාව පරිදි කී පණිවුඩය ඉෂ්ට වනු සිකුරු ය”යි කී ය.</verse>
				<verse number="33">මේ සිද්ධියට පසු ව වුව ද, ජෙරොබෝවම් තමාගේ නපුරු මාර්ගයෙන් නොහැරී, නැවතත් සියලු මිනිසුන්ගෙන් ගිරිකුළු දේවාලවලට පූජකයන් පත් කෙළේ ය. කැමැති වූ කොයි අය නමුත්, ගිරිකුළු දේවාලවල පූජකයන් වීමට ඔහු කැප කෙළේ ය.</verse>
				<verse number="34">මේ කරුණ වූකලී ජෙරොබෝවම්ගේ වංශය පහකොට මිහි පිටින් විනාශ කිරීමට ඔවුන් කෙරෙහි පාපයක් විය.</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">ඒ කාලයෙහි ජෙරොබෝවම්ගේ පුත් අබියා රෝගාතුර විය.</verse>
				<verse number="2">ජෙරොබෝවම් තම බිරිඳට කතා කොට, “ඔබ ජෙරොබෝවම්ගේ බිරිඳ බව නොදැනෙන හැටියට කරුණාකර, වෙස් වළාගෙන පිටත් වී ෂිලෝ නම් ස්ථානයට යන්න. ‘ඔබ මේ සෙනඟ කෙරෙහි රජ වන්නේ ය’යි මා ගැන කී අහියා දිවැසිවරයා එහි සිටියි.</verse>
				<verse number="3">ඔබේ අතින් රොටි දසයක් ද රස කැවිලි ද මීපැණි භාජනයක් ද රැගෙන ඔහු ළඟට යන්න. ළමයාට කුමක් වේ ද කියා ඔහු ඔබට දන්වනු ඇතැ”යි පැවසී ය.</verse>
				<verse number="4">ජෙරොබෝවම්ගේ බිරිඳ එලෙස කොට පිටත් වී, ෂිලෝ නම් ස්ථානයට ගොස් අහියාගේ ගෙදරට පැමිණියා ය. මහලුකම නිසා අහියාගේ ඇස් නොපෙනෙන තරමට අඳුරු වී තිබිණි.</verse>
				<verse number="5">එහෙත්, සමිඳාණන් වහන්සේ අහියාට කතා කොට, “බලන්න, ජෙරොබෝවම්ගේ බිරිඳ රෝගාතුර වී සිටින ඇගේ පුත්‍රයා ගැන නුඹෙන් විචාරන්න එන්නී ය. ඈට මේ අයුරින් කතා කරන්න. ඇය එන විට අන් තැනැත්තියක මෙන් පෙන්වනු ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="6">දොරකඩින් ඇතුළු වන ඇගේ අඩි ශබ්දය අහියාට ඇසුණු විට ඔහු කතා කොට, “ජෙරොබෝවම්ගේ බිරිඳ ඇතුළට එන්න. ඔබ අන් තැනැත්තියක මෙන් පෙන්වන්නේ කුමට ද? කණගාටුදායක ආරංචි දැන්වීමට මට තිබේ.</verse>
				<verse number="7">‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔබ ගොස් ජෙරොබෝවම්ට කියන්න: ‘මම සෙනඟ අතරෙන් නුඹ උසස්කර, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා කොට පත්කර,</verse>
				<verse number="8">දාවිත්ගේ වංශයෙන් රාජ්‍යය උදුරා නුඹට දිනිමි. එහෙත්, නුඹ වනාහි මාගේ ආඥා පිළිපැද, මාගේ ඇස් හමුවෙහි හරි දේ පමණක් කරමින් තමාගේ මුළු හෘදයෙන් මා අනුව පැමිණි, මාගේ මෙහෙකරු දාවිත් මෙන් නොසිට,</verse>
				<verse number="9">නුඹට පළමුවෙන් සිටි සියල්ලන්ට වඩා නපුරුකම් කරමින්, මා කෝප කරන හැටියට අන් දෙවිවරුන් ද වාත්තු පිළිම ද සාදාගෙන මට පිටුපෑවෙහි ය.</verse>
				<verse number="10">එබැවින් මම ජෙරොබෝවම්ගේ වංශය පිට විපත්ති පමුණුවා ජෙරොබෝවම්ගේ සියලු පිරිමින් වන ඉශ්රායෙල්වරුන් අතරෙහි දාසයන් වූත්, නිර්දාසයන් වූත් සියල්ලන් නෙරපා, නිමාවට කුණු අතුගාදමන ලෙස, ජෙරොබෝවම්ගේ වංශය සහමුලින් ම අතුගාදමන්නෙමි.</verse>
				<verse number="11">නගරයේ දී මැරෙන ජෙරොබෝවම්ට අයිති අය බල්ලෝ කන්නෝ ය. පිටත දී මැරෙන අය ආකාශයේ පක්ෂීහු කන්නෝ ය.’ එසේ වන්නේ, සමිඳාණන් වහන්සේ එය වදාළ බැවිනි.</verse>
				<verse number="12">“එබැවින් ඔබ පිටත් ව ඔබේ ගෙදරට යන්න. නගරය තුළට ඔබ පා තබන විට ළමයා මැරෙනු ඇත.</verse>
				<verse number="13">සියලු ඉශ්රායෙල්වරු ඔහු ගැන වැලපී ඔහු භූමදාන කරන්නෝ ය. මන්ද, ජෙරොබෝවම්ගේ වංශය අතරෙන් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ යහපත් යමක් ඔහු තුළ ඇති බැවින් ජෙරොබෝවම්ගේ වංශයෙන් ඔහු පමණක් නියම විධියට භූමදාන කරනු ලබන්නේ ය.</verse>
				<verse number="14">ඇරත් ඒ දවසේ දී ජෙරොබෝවම්ගේ වංශය නෙරපා දැමීමට සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් කෙරෙහි රජෙකු නැඟුටුවාලන සේක. මුලින් සිදු වන දේ මේ ය. ඉන්පසු කුමක් වේ ද?</verse>
				<verse number="15">ඉශ්රායෙල්වරුන් තමන්ට අෂේරා කප් කණු සාදාගෙන සමිඳාණන් වහන්සේ කෝප කළ බැවින්, බට ගහක් වතුරේ සලෙවෙන ලෙස සෙලවීමට උන් වහන්සේ ඔවුන්ට පහර දී, ඔවුන්ගේ පියවරුන්ට දුන් මේ සශ්‍රීක දේශයෙන් ඔවුන් පහකර, යුප්‍රටීස් ගංගාවෙන් එතෙරට ඔවුන් විසුරුවාදමන සේක.</verse>
				<verse number="16">ජෙරොබෝවම් පව් කළ නිසා ද ඉශ්රායෙල්වරුන්ට කරන්න සැලැස්සූ පාප නිසා ද උන් වහන්සේ ඉශ්රායෙල්වරුන් අත්හැරදමන සේකැ”යි කී ය.</verse>
				<verse number="17">ඉන්පසු ජෙරොබෝවම්ගේ බිරිඳ පිටත් ව ගොස් තිර්ශා නම් නගරයට පැමිණියා ය. ඈ ගෙයි එළිපත්ත ළඟට එන විට ම ළමයා මළේ ය.</verse>
				<verse number="18">සමිඳාණන් වහන්සේ සිය මෙහෙකරු වන දිවැසිවර අහියා ලවා වදාළ පණිවුඩයේ හැටියට සියලු ඉශ්රායෙල්වරු ඔහු තැන්පත් කොට ඔහු ගැන වැලපුණෝ ය.</verse>
				<verse number="19">ජෙරොබෝවම් පිළිබඳ ඉතිරි කරුණු වන ඔහු කළ යුද්ධ ද ඔහු රජකම් කළ හැටි ද ඉශ්රායෙල් රජවරුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ.</verse>
				<verse number="20">ජෙරොබෝවම් රජකම් කළ කාලය විසිදෑවුරුද්දකි. ඔහු මරණයට පත් වූ පසු ඔහුගේ පුත් නාදාබ් ඔහු වෙනුවට රජ විය.</verse>
				<verse number="21">සලමොන්ගේ පුත් රෙහොබෝවම් ජුදාහි රජකමට පත් විය. රෙහොබෝවම් රජකමට පත් වන කල සතළිස් එක් අවුරුද්දක් වයස් ව සිටියේ ය. සමිඳාණන් වහන්සේ සිය නාමය තැබීමට සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් නගරය වූ ජෙරුසලමෙහි ඔහු දහහත් අවුරුද්දක් රජකම් කෙළේ ය. අම්මොනිය ජාතික ස්ත්‍රියක වන ඔහුගේ මවගේ නම නාමා ය.</verse>
				<verse number="22">ජුදාවරු ද සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කොට තමන් කළ පාපවලින් තමන්ගේ පියවරුන් කළ සියල්ලට වඩා උන් වහන්සේ කෝප කළෝ ය.</verse>
				<verse number="23">ඔව්හු කඳු මත පූජාස්ථාන ගොඩනඟා, සියලු උස් හෙල් පිට ද විශාල අතුපතර ඇති සියලු ගස් යට ද පිළිම සහ අෂේරා කප් කණු ඉදි කළෝ ය.</verse>
				<verse number="24">සල්ලාලකම් කළ පිරිමි පවා කඳු මත පූජාස්ථානවල වූ හ. ඉශ්රායෙල් ජනයා යන්න කලින් සමිඳාණන් වහන්සේ පන්නාදැමූ ජාතීන්ගේ සියලු පිළිකුල් ක්‍රියා ඔව්හු අනුගමනය කළෝ ය.</verse>
				<verse number="25">තවද, රෙහොබෝවම් රජුගේ පස් වන අවුරුද්දේ දී මිසරයේ රජ වූ ෂීෂක් ජෙරුසලමට පහර දී,</verse>
				<verse number="26">සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි වස්තු ද රජ මාලිගාවෙහි වස්තු ද රැගෙන ගියේ ය. සලමොන් විසින් සාදවනු ලැබ තිබුණු සියලු රන් පලිස් ඇතුළු සියල්ල ම රැගෙන ඔහු යන්න ගියේ ය.</verse>
				<verse number="27">රෙහොබෝවම් රජ ඒ වෙනුවට ලෝකඩ පලිස් සාදා රජ මාලිගාවේ දොරටුවල රැකවල් කළ මුර භටයන්ගේ අධිපතීන් අතට භාර දුන්නේ ය.</verse>
				<verse number="28">රජතුමා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට එන සියලු ප්‍රස්තාවන්හි දී මුර භටයෝ ඒවා උසුලාගෙන අවුත් නැවත මුරගෙට ගෙන ගියෝ ය.</verse>
				<verse number="29">රෙහොබෝවම් පිළිබඳ ඉතිරි කරුණු ද ඔහු කළ සියල්ල ද රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?</verse>
				<verse number="30">රෙහොබෝවම් සහ ජෙරොබෝවම් අතර නිතර ම යුද්ධ පැවතිණි.</verse>
				<verse number="31">රෙහොබෝවම් මියගිය පසු තමාගේ පිය වූ දාවිත්ගේ නුවර රජ පරපුරේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබී ය. අම්මොනිය ජාතික ස්ත්‍රියක වූ ඔහුගේ මවගේ නම නාමා ය. ඉන්පසු ඔහුගේ පුත් අබියාම් ඔහු වෙනුවට රජ විය.</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් රජුගේ දහඅට වන අවුරුද්දේ දී අබියාම් ජුදා දේශයෙහි රජ වී,</verse>
				<verse number="2">තුන් අවුරුද්දක් ජෙරුසලමේ රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම මයකා ය. ඈ අබ්සලොම්ගේ දුවකි.</verse>
				<verse number="3">තමාගේ පියා පෙර කළ සියලු පාප ඔහු කෙළේ ය. ඔහුගේ සිත ද ඔහුගේ පිය වූ දාවිත්ගේ සිත මෙන් තම දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසී ව නොතිබුණේ ය.</verse>
				<verse number="4">එහෙත්, දාවිත් නිසා ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහුට පසු ව ඔහුගේ පුත්‍රයා නැඟිටුවීමෙන් ද ජෙරුසලම ආරක්ෂා කිරීමෙන් ද ජෙරුසලමට පහනක් වැනි පුත්‍රයෙකු ඔහුට දුන් සේක.</verse>
				<verse number="5">මන්ද, හිත්තීය ජාතික උරියාගේ කරුණු ගැන මිස, සමිඳාණන් වහන්සේ දාවිත්ට අණ කළ කිසි දෙයකින් ඔහු තමාගේ ජීවිතයේ මුළු කාලයේ දී වෙන් වී නොගොස් උන් වහන්සේගේ ඇස් හමුවෙහි හරි දේ ම කෙළේ ය.</verse>
				<verse number="6">රෙහොබෝවම් සහ ජෙරොබෝවම් අතර ඔහුගේ මුළු ජීවිත කාලයේ දී යුද්ධ තිබිණි.</verse>
				<verse number="7">අබියාම් පිළිබඳ ඉතිරි කරුණු ද ඔහු කළ සියල්ල ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? අබියාම් සහ ජෙරොබෝවම් අතර යුද්ධ පැවතිණි.</verse>
				<verse number="8">අබියාම් මරණයට පත් වූ පසු සෙනඟ දාවිත්ගේ නුවර ඔහු භූමදාන කළෝ ය. ඉන්පසු ඔහුගේ පුත් ආසා ඔහු වෙනුවට රජ විය.</verse>
				<verse number="9">ඉශ්රායෙල්වරුන්ගේ රජ වූ ජෙරොබෝවම්ගේ විසි වන අවුරුද්දේ ආසා ජුදා දේශයෙහි රජ විය.</verse>
				<verse number="10">මොහු ජෙරුසලමෙහි සතළිස්එක් අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම මයකා ය. ඈ අබ්සලොම්ගේ දුවකි.</verse>
				<verse number="11">ආසා තමාගේ පිය වූ දාවිත් කළ ලෙස සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය.</verse>
				<verse number="12">ඔහු සල්ලාලයන් දේශයෙන් පහකොට, තමාගේ පියවරුන් සෑදූ සියලු දේව රූප අහක් කරදැමී ය.</verse>
				<verse number="13">සිය මව වන මයකා අෂේරා කප් කණුවක් පිණිස පිළිකුල් රූපයක් සෑදූ බැවින්, ඔහු ඈ මව් බිසෝකමෙන් අහක් කර, ඒ රූපය කපාදමා, කිද්‍රොන් ඔය ළඟ දී එය පුළුස්සා දැමී ය.</verse>
				<verse number="14">එහෙත්, කඳු මත පූජාස්ථාන පහ නොකරන ලද්දේ ය. එසේ වී නමුත්, ආසාගේ සිත ඔහුගේ මුළු ජීවිත කාලයේ දී සමිඳාණන් වහන්සේ කෙරෙහි සම්පූර්ණයෙන් විශ්වාසී ව තිබිණි.</verse>
				<verse number="15">ඔහු තමාගේ පියා විසින් ද තමා විසින් ද කැප කරන ලද රන් රිදී සහ බඩු බාහිරාදිය සමිඳාණන් වහන්සේගේ මාලිගාව ඇතුළට ගෙනවුත් එහි තැන්පත් කෙළේ ය.</verse>
				<verse number="16">ආසා සහ ඉශ්රායෙල්වරුන්ගේ රජ වූ බාෂා අතර ඔවුන්ගේ මුළු කාලයේ දී යුද්ධ පැවතිණි.</verse>
				<verse number="17">ඉශ්රායෙල්වරුන්ගේ රජ වූ බාෂා ජුදාට විරුද්ධ ව ගොස්, ජුදාහි රජ වූ ආසා වෙතින් පිටත යන්න හෝ ඔහු වෙත ඇතුළට එන්න හෝ කිසිවෙකුට ඉඩ නොදෙන පිණිස, රාමා නම් නගරය ශක්තිමත් කෙළේ ය.</verse>
				<verse number="18">එවිට ආසා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවල ඉතිරි ව තිබූ රන් රිදී සියල්ල ද රජ මාලිගාවේ තිබූ වස්තුව ද ගෙන තමාගේ සේවකයන් අතට භාර දී, දමස්කයෙහි විසූ සිරියාවේ රජ වූ හෙශියොන්ගේ පුත්‍රයා වන තබ්රිමොන්ගේ පුත් බෙන්‍-හදද්ට ඒවා යවමින්,</verse>
				<verse number="19">“මා සහ ඔබ අතරේ ද මාගේ සහ ඔබේ පියා අතරේ ද ගිවිසුමක් තිබේ. මෙන්න, රන් රිදී තෑග්ගක් ඔබට එවමි. ඉශ්රායෙල් රජ වන බාෂා මා වෙතින් අහක් ව යන පිණිස, ඔබ අවුත් ඔහු සමඟ කර තිබෙන ඔබේ ගිවිසුම කඩ කළ මැනව”යි කියා හැරී ය.</verse>
				<verse number="20">එවිට බෙන්‍-හදද්, ආසා රජුට ඇහුම්කන් දී, තමාගේ සෙන්පතීන් ඉශ්රායෙල්වරුන්ගේ නගරවලට විරුද්ධ ව යවා ඊයොන් ද දාන් සහ ආබෙල්-බෙත්-මයකා ද යන නගරවලටත්, මුළු නප්තලී ප්‍රදේශය ඇතුළු මුළු කින්නරෝත් පළාතටත් පහර දුන්නේ ය.</verse>
				<verse number="21">බාෂා ඒ අසා රාමා නගරය ශක්තිමත් කිරීම නවත්වා, තිර්ශාහි වාසය කෙළේ ය.</verse>
				<verse number="22">එවිට ආසා රජ කිසිවෙකු අත්නෑර සියලු ජුදාවරුන් කැඳවා, රාමා ශක්තිමත් කිරීමට බාෂා විසින් ගන්නා ලද ගල් හා ලී ද ඔවුන් ලවා ගෙන්වාගෙන, ඒවායින් බෙන්‍ජමින්ගේ දේශයෙහි ගෙබා හා මිශ්පා යන නගර ශක්තිමත් කෙළේ ය.</verse>
				<verse number="23">ආසා පිළිබඳ ඉතිරි කරුණු ද ඔහුගේ සියලු බලවන්තකම් ද ඔහු කළ සියල්ල ද ඔහු ගොඩනැඟුවාවූ නගර ද ජුදාහි රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? එහෙත්, ඔහුගේ මහලු වයසේ දී, ඔහුගේ පාදවල වූ රෝගයකින් ඔහු දුක් වින්දේ ය.</verse>
				<verse number="24">ආසා මරණයට පත් වූ පසු තමාගේ පිය වූ දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ භූමදාන කරනු ලැබී ය. ඔහුගේ පුත්‍ර වූ ජෙහෝෂාපාට් ඔහු වෙනුවට රජ විය.</verse>
				<verse number="25">ජෙරොබෝවම්ගේ පුත් නාදාබ් ජුදාහි රජ වූ ආසාගේ දෙ වන‍ අවුරුද්දේ දී ඉශ්රායෙල් දේශයෙහි රජ වී දෑවුරුද්දක් රජකම් කෙළේ ය.</verse>
				<verse number="26">ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කොට, තම පියාගේ අඩි පාරේ ගමන් කරමින්, තම පියා ඉශ්රායෙල්වරුන්ට කරන්න සැලැස්සූ පාප ද කෙළේ ය.</verse>
				<verse number="27">තවද, ඉස්සාකර් වංශයේ අහියාගේ පුත් බාෂා, නාදාබ්ට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට, නාදාබ් සහ සියලු ඉශ්රායෙල්වරුන් පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙතොන් නගරය වටලා සිටි අතර එහි දී ඔහුට පහර දුන්නේ ය.</verse>
				<verse number="28">ජුදාහි රජ වූ ආසාගේ තුන් වන අවුරුද්දේ දී බාෂා තෙමේ නාදාබ් මරා ඔහු වෙනුවට රජ විය.</verse>
				<verse number="29">තවද, ඔහු රජ වූ වහා ම ජෙරොබෝවම්ගේ මුළු වංශය නැසුවේ ය. විනාශ නොකර පණපිටින් කිසිවෙකු ඔහු ජෙරොබෝවම්ට ඉතිරි නොකෙළේ ය.</verse>
				<verse number="30">එසේ වුණේ, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ උදහස් කරන ලෙස, ජෙරොබෝවම් විසින් කළා වූ ද, ඔහු ඉශ්රායෙල්වරුන්ට කරන්න සැලැස්සුවා වූ ද පව් නිසා, සමිඳාණන් වහන්සේ ස්වකීය දාසයා වූ ෂිලෝහි අහියා ලවා කියෙවූ උන් වහන්සේගේ පණිවුඩය හැටියට ය.</verse>
				<verse number="31">නාදාබ් පිළිබඳ ඉතිරි කරුණු ද ඔහු කළ සියල්ල ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?</verse>
				<verse number="32">ආසා සහ ඉශ්රායෙල්වරුන්ගේ රජ වූ බාෂා අතර ඔවුන්ගේ මුළු ජීවිත කාලය තුළ ම යුද්ධ පැවතිණි.</verse>
				<verse number="33">ජුදාහි ආසාගේ තුන් වන අවුරුද්දේ දී අහියාගේ පුත්‍ර වූ බාෂා තිර්ශාහි සියලු ඉශ්රායෙල්වරුන්ගේ රජ වී විසිහතර අවුරුද්දක් රජකම් කෙළේ ය.</verse>
				<verse number="34">ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කර ජෙරොබෝවම්ගේ අඩි පාරේ යමින් ඉශ්රායෙල්වරුන් පව් කරන්න සැලැස්සූ පාපය ද කෙළේ ය.</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">එවිට සමිඳාණන් වහන්සේගේ පණිවුඩය බාෂාට විරුද්ධ ව හනානීගේ පුත් ජේහු වෙත පැමිණියේ ය.</verse>
				<verse number="2">එය මෙසේ ය: “කිසි වටිනාකමක් නැති නුඹ උසස් කර, මම මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා කොට පත් කෙළෙමි. එහෙත්, නුඹ ජෙරොබෝවම්ගේ මාර්ගයෙහි හැසිරෙමින්, තමන්ගේ පාපවලින් මා කෝප කරවන හැටියට මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැස්වූයෙහි ය.</verse>
				<verse number="3">එබැවින් මම, බාෂා සහ ඔහුගේ වංශය සහමුලින් ම වනසාදමා, නුඹේ වංශය නෙබාත්ගේ පුත් වූ ජෙරොබෝවම්ගේ වංශය මෙන් වන්නට සලස්වන්නෙමි.</verse>
				<verse number="4">බාෂාට අයිති, නගරයේ දී මැරෙණ අය බල්ලෝ කන්නෝ ය. පිටත දී මැරෙණ ඔහුට අයිති අය ආකාශයේ පක්ෂීහු කන්නෝ ය.”</verse>
				<verse number="5">බාෂා පිළිබඳ ඉතිරි කරුණු ද ඔහු කළ දේවල් ද ඔහුගේ බලවන්තකම් ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?</verse>
				<verse number="6">බාෂා මරණයට පත් වූ පසු තිර්ශාහි භූමදාන කරන ලදී. ඔහුගේ පුත් ඒලා ඔහු වෙනුවට රජ විය.</verse>
				<verse number="7">තවද, හනානීගේ පුත් දිවැසිවර ජේහු අතින් සමිඳාණන් වහන්සේගේ පණිවුඩය බාෂාටත්, ඔහුගේ වංශයටත් විරුද්ධ ව පැමිණියේ ය. එසේ වූයේ, ඔහු ජෙරොබෝ-වම්ගේ වංශයට සමාන වන හැටියට තමාගේ ක්‍රියාවලින් සමිඳාණන් වහන්සේ කෝප කරවමින් උන් වහන්සේගේ ඇස් හමුයෙහි කළ සියලු නපුරුකම් නිසාත්, ඔහු ඒ වංශය නැසූ නිසාත් ය.</verse>
				<verse number="8">ජුදාහි රජ වූ ආසාගේ විසිහය වන අවුරුද්දේ දී බාෂාගේ පුත් ඒලා ඉශ්රායෙල්වරුන්ගේ රජ වී තිර්ශාහි දෑවුරුද්දක් රජකම් කෙළේ ය.</verse>
				<verse number="9">ඔහුගේ අශ්ව රථ සේනාවෙන් දෙකෙන් කොටසකට අධිපති ව සිටි ඔහුගේ සේවක වන සිම්රී ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට, තිර්ශාහි මාලිගාවේ ප්‍රධානියා වන අර්ශාගේ නිවෙසේ ඔහු බීමත් ව සිටින විට,</verse>
				<verse number="10">එහි ඇතුළු වී ජුදාහි රජ වන ආසාගේ විසිහත් වන අවුරුද්දේ දී ඔහුට පහර දී, ඔහු මරා ඔහු වෙනුවට රජ විය.</verse>
				<verse number="11">මෙසේ ඔහු රජ වී ස්වකීය සිංහාසනය පිට හිඳගත් වහාම බාෂාගේ නෑයන්ගෙන් වත්, මිත්‍රයන්ගෙන් වත්, කිසි පිරිමියෙකු ඉතුරු නොකොට ඔහුගේ වංශයේ සියල්ලන් මරාදැම්මේ ය.</verse>
				<verse number="12">මෙසේ සිම්රී, බාෂාගේ මුළු වංශය විනාශ කෙළේ, බාෂා ද ඔහුගේ පුත් ඒලා ද තමන්ගේ නිරර්ථක දේව රූපවලින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෝප කරවමින් ඔවුන් විසින් කරන ලද,</verse>
				<verse number="13">ඉශ්රායෙල්වරුන්ට කිරීමට සලස්වන ලද ඔවුන්ගේ සියලු පාප නිසා උන් වහන්සේ දිවැසිවර ජේහු ලවා බාෂාට විරුද්ධ ව දෙන ලද තමන් වහන්සේගේ පණිවුඩය හැටියට ය.</verse>
				<verse number="14">ඒලා පිළිබඳ ඉතිරි කරුණු ද ඔහු කළ සියල්ල ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?</verse>
				<verse number="15">ජුදාහි රජ වන ආසාගේ විසිහත් වන අවුරුද්දේ දී සිම්රී තිර්ශාහි සත් දවසක් රජකම් කෙළේ ය. එවිට සෙනඟ පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙතොන් නගරය වටලා කඳවුරු බැඳගෙන සිටියෝ ය.</verse>
				<verse number="16">‘සිම්රී කුමන්ත්‍රණ කොට රජුටත් පහර දුන්නේ ය’ කියා කඳවුරු බැඳගෙන සිටි සෙනඟ ඇසූ විට, සියලු ඉශ්රායෙල්වරු ඔවුන්ගේ සේනාපති වූ ඔම්රී ඒ දවසේ කඳවුරේ දී ඉශ්රායෙල්වරුන්ගේ රජ ලෙස පත් කළෝ ය.</verse>
				<verse number="17">ඔම්රී ද ඔහු සමඟ සියලු ඉශ්රායෙල්වරු ද ගිබ්බෙතොන් නගරයේ සිට ගොස් තිර්ශා වටලා ගත්තෝ ය.</verse>
				<verse number="18">තවද, නගරය අල්ලාගත් බව සිම්රී දුටු විට ඔහු රජ මාලිගාවේ බලකොටුවට ඇතුළු වී රජ මාලිගාවට ගිනි ලා ගෙන මළේ ය.</verse>
				<verse number="19">එසේ වුණේ, ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කරමින්, ජෙරොබෝවම්ගේ මාර්ගයෙහි ද ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සලස්වන ලෙස ඔහු කළ පාපයේ හැටියට ද හැසිරෙමින් ඔහු කළ පාප නිසා ය.</verse>
				<verse number="20">සිම්රී පිළිබඳ ඉතිරි කරුණු ද ඔහු කළ ද්‍රෝහිකම් ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?</verse>
				<verse number="21">එකල ඉශ්රායෙල් සෙනඟ දෙපක්ෂයකට බෙදී සෙනඟගෙන් දෙකෙන් කොටසක් ගීනත්ගේ පුත් තිබ්නී රාජ ධුරයට පත් කරගැනීමට ඔහුට එකතු වූ හ. අනෙක් කොටස ඔම්රීට එකතු වූ හ.</verse>
				<verse number="22">එහෙත්, ඔම්රීට එකතු වුණ සෙනඟ ගීනත්ගේ පුත් තිබ්නීට එකතු වූ සෙනඟ පරාජය කළෝ ය. මෙසේ තිබ්නී මළේ ය. ඔම්රී රජ විය.</verse>
				<verse number="23">ජුදාහි රජ වූ ආසාගේ තිස්එක් වන අවුරුද්දේ දී ඔම්රී ඉශ්රායෙල්වරුන්ගේ රජ වී දොළොස් අවුරුද්දක් රජකම් කෙළේ ය. තිර්ශාහි ඔහු අවුරුදු හයක් රජකම් කෙළේ ය.</verse>
				<verse number="24">ඔහු සමාරිය කන්ද රිදී කාසි හයදහසකට ෂෙමෙර්ගෙන් මිලේට ගෙන කන්දෙහි නගරයක් ගොඩනඟා, තමා ගොඩනැඟුවාවූ නගරයට කන්ද අයිතිකරු වූ ෂෙමෙර්ගේ නාමය අනුව සමාරිය යන නම තැබී ය.</verse>
				<verse number="25">ඔම්රී සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කොට තමාට පළමුවෙන් සිටි සියල්ලන්ට ම වඩා දුෂ්ට ලෙස ක්‍රියා කෙළේ ය.</verse>
				<verse number="26">මන්ද, ඔහු නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ සියලු මාර්ගවල ද තමාගේ නිරර්ථක දේව රූපවලින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෝප කරවන ලෙස ඉශ්රායෙල්වරුන්ට කරන්නට සැලැස්සූ ඔහුගේ පාප හැටියට ද පව් කෙළේ ය.</verse>
				<verse number="27">ඔම්රී කළ අනික් ක්‍රියා ද ඔහු කළ බලවන්තකම් ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?</verse>
				<verse number="28">ඔම්රී මරණයට පත් වූ විට සමාරියෙහි භූමිදාන කරනු ලැබී ය. ඔහුගේ පුත් ආහබ් ඔහු වෙනුවට රජ විය.</verse>
				<verse number="29">ජුදාහි රජ වූ ආසාගේ තිස්අට වන අවුරුද්දේ දී ඔම්රීගේ පුත් ආහබ් ඉශ්රායෙල්වරුන්ගේ රජ වී සමාරියේ විසිදෑවුරුද්දක් ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය.</verse>
				<verse number="30">ඔම්රීගේ පුත් ආහබ් ද තමාට පළමුවෙන් සිටි සෑම දෙනාට වඩා සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.</verse>
				<verse number="31">තවද, ඔහු නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාප මාර්ගයෙහි හැසුරුණා පමණක් නොව, සීදොන්වරුන්ගේ රජ වූ එත්බාල්ගේ දුව වන ජෙශෙබෙල් බිරිඳ කොට පාවාගත්තේ ය. ඇරත්, ඔහු ගොස් බාල් දේවතාවාට වැඳුම්පිදුම් කරමින් නමස්කාර කෙළේ ය.</verse>
				<verse number="32">ඔහු සමාරියේ ගොඩනැඟුවාවූ බාල් දේවතාවාගේ දේවාලයෙහි බාල්ට පූජාසනයක් ද අෂේරා කප් කණු ද සෑදී ය.</verse>
				<verse number="33">ආහබ් තෙම තමාට පළමුවෙන් සිටි සියලු ඉශ්රායෙල් රජුන්ටත් වඩා ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෝප කරවන ක්‍රියා කෙළේ ය.</verse>
				<verse number="34">ඔහුගේ කාලයේ දී බෙතෙල්හි හීයෙල් නම් තැනැත්තා විසින් ජෙරිකෝව ගොඩනඟන ලදී. සමිඳාණන් වහන්සේ නූන්ගේ පුත් ජෝෂුවා ලවා දෙන ලද උන් වහන්සේගේ පණිවුඩය ලෙස, ඔහු එහි අත්තිවාරම් දමන විට ඔහුගේ කුළුඳුලා වන අබිරාම් ද ඔහු එහි දොරටු පිහිටුවන විට ඔහුගේ බාල පුත් සෙගුබ් ද නැසුණෝ ය.</verse>
			</chapter>
			<chapter number="17">
				<verse number="1">ගිලියද්හි විසූවන්ගෙන් කෙනෙකු වන තිෂ්බි නම් ස්ථානයෙන් වූ එලියා, ආහබ්ට කතා කොට, “මාගේ අණ ප්‍රකාර මිස මේ අවුරුදුවල පිනි වත්, වැසි වත් ඇති නොවන්නේ යයි මා වැඳුම්පිදුම් කරන ඉශ්රායෙල්වරුන්ගේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවේ ය.</verse>
				<verse number="2">සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ඔහු වෙත පැමිණ,</verse>
				<verse number="3">“මෙතැනින් පිටත් ව, පෙරදිගට ගොස් ජොර්දාන් ගඟට නැගෙනහිරින් තිබෙන කෙරිත් නම් ඔය ළඟ සැඟවී සිටින්න.</verse>
				<verse number="4">ඒ ඔයෙන් නුඹට බොන්න පුළුවන. එහි දී නුඹට කෑම දෙන්නට කපුටුවන්ට මම අණ කෙළෙමි”යි කීවේ ය.</verse>
				<verse number="5">ඔහු ගොස් සමිඳාණන් වහන්සේ වදාළ ලෙස කෙළේ ය. ඔහු ජොර්දාන් ගඟට නැගෙනහිරින් තිබෙන කෙරිත් ඔය ළඟ වාසය කෙළේ ය.</verse>
				<verse number="6">කපුටුවෝ‍ උදය කාලයේ රොටි සහ මස් ද සවස් කාලයේ රොටි සහ මස් ද ගෙනාවෝ‍ ය.</verse>
				<verse number="7">ඔහු ද ඔයෙන් වතුර බීවේ ය. එහෙත්, දේශයට වැස්ස නැති නිසා කලකට පසු ඔය සිඳී ගියේ ය.</verse>
				<verse number="8">එවිට සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ඔහු වෙත පැමිණ,</verse>
				<verse number="9">“නුඹ පිටත් වී සීදොන් අසල පිහිටි ශාරෙපත් නම් නගරයට ගොස් එහි වාසය කරන්න. නුඹට ආහාර දීමට එහි සිටින වැන්දඹු ස්ත්‍රියකට අණ කෙළෙමි”යි කීවේ ය.</verse>
				<verse number="10">එහෙයින් ඔහු පිටත් ව ශාරෙපත් නගරයට ගොස් වාසල් දොරටුවට පැමිණි කල, වැන්දඹු ස්ත්‍රියක එහි දර අහුලනු දැක, ඈට අඬගසා, “කරුණාකර, මට බොන්න භාජනයකට වතුර ටිකක් ගෙනෙන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="11">ඇය එය ගෙනෙන්නට යන අතර ඔහු ඈට අඬගසා, “කරුණාකර, ඔබේ අතින් රොටි කෑල්ලකුත් මට ගෙනන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="12">එවිට ඈ කතා කොට, “බඳුනක පිටි මිටකුත්, කුලාවක තෙල් ටිකකුත් මිස මා ළඟ රොටි නැත. ඒවා සාදාගන්නට දර කෑලි දෙකක් අහුලමි. මටත්, මාගේ පුත්‍රයාටත් තිබෙන ඒ අන්තිම කෑම වේල අනුභව කළ පසු නහින්නෙමු යි ඔබේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවා ය.</verse>
				<verse number="13">එලියා ඈට කතා කොට, “බිය නොවන්න, ගොස් ඔබ කී හැටියට කරන්න. එහෙත්, පළමුකොට එයින් මට කුඩා රොටියක් සාදා මා ළඟට ගෙනෙන්න; පසු ව ඔබටත්, ඔබේ පුත්‍රයාටත් සාදාගන්න.</verse>
				<verse number="14">මන්ද, දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘සමිඳාණන් මිහි පිට වැස්ස එවන දවස දක්වා පිටි බඳුන ඉවර වන්නේ නැත; තෙල් කුලාව අඩු වන්නේ නැතැ’ “යි කීවේ ය.</verse>
				<verse number="15">ඈ ගොස් එලියා කී හැටියට කළා ය. එසේ ඈ ද ඔහු ද ඇගේ ගෙයි වැසියෝ ද බොහෝ‍ දවස් ඒවා අනුභව කළෝ ය.</verse>
				<verse number="16">සමිඳාණන් වහන්සේ එලියා ලවා දෙන ලද උන් වහන්සේගේ පණිවුඩය ප්‍රකාර පිටි බඳුන හිස් නො වී ය; තෙල් කුලාව අඩු නො වී ය.</verse>
				<verse number="17">ඉක්බිති ගෙදර ස්වාමි දූ වූ ඒ ස්ත්‍රියගේ පුත්‍රයා රෝගාතුර විය. ඔහුගේ රෝගය කොපමණ බලවත් වී ද යත්, ඔහුගේ හුස්මගැනීම නතර විය.</verse>
				<verse number="18">එවිට ඈ එලියාට කතා කොට, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, ඔබ සමඟ මට ඇති ආරාවුල කුමක් ද? මාගේ පාපය සිහි කරවන්නටත්, මාගේ පුත්‍රයා මරන්නටත් මා ළඟට ඔබ ආයෙහි දැ”යි ඔහුගෙන් ඇසුවා ය.</verse>
				<verse number="19">ඔහු ද පිළිතුරු දෙමින්, “ඔබේ පුත්‍රයා මට දෙන්නැ”යි ඈට කියා ඇගේ තුරුල්ලෙන් ඔහු රැගෙන, තමා විසූ උඩු මහලට ගෙන ගොස් තමාගේ ම ඇඳෙහි ඔහු තැබුවේ ය.</verse>
				<verse number="20">තවද, ඔහු සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින්, “මාගේ දෙවි සමිඳාණන් වහන්සේ, මට නවාතැන් දුන් වැන්දඹුවගේ පුතා නැසීමෙන් ඔබ ඇයට විපත් පැමිණවූ සේක් ද” කියා,</verse>
				<verse number="21">තුන්වරක් ළමයා පිට දිගා වී සමිඳාණන් වහන්සේට යාච්ඤා කොට, “මාගේ දෙවි සමිඳාණන් වහන්සේ, මේ ළමයාගේ ප්‍රාණය නැවත ඔහු තුළට පැමිණෙව්ව මැනවැ”යි කීවේ ය.</verse>
				<verse number="22">සමිඳාණන් වහන්සේ එලියාගේ හඬට සවන් දුන් සේක. ළමයාගේ ප්‍රාණය නැවත ඔහු තුළට පැමිණ ඔහු ජීවත් වුණේ ය.</verse>
				<verse number="23">එලියා ළමයා රැගෙන උඩු මහලින් ගෙට ගෙනවුත් ඔහුගේ මවට දී, “මෙන්න, ඔබේ පුතා ජීවත් ව සිටී”යයි කීවේ ය.</verse>
				<verse number="24">ස්ත්‍රිය ද කතා කරමින්, “ඔබ දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙකු බව ද, ඔබේ මුඛයෙහි තිබෙන සමිඳාණන් වහන්සේගේ පණිවුඩය සැබෑ බව ද දනිමි”යි එලියාට කීවා ය.</verse>
			</chapter>
			<chapter number="18">
				<verse number="1">බොහෝ‍ කාලයකට පසු තුන් වන අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේගේ පණිවුඩය එලියා වෙත පැමිණ, “නුඹ ගොස් ආහබ් ඉදිරියෙහි පෙනී සිටින්න. මම පොළොව පිට වැස්ස එවන්නෙමි”යි කීවේ ය.</verse>
				<verse number="2">එලියා ආහබ් ඉදිරියෙහි පෙනී සිටින්නට ගියේ ය. සාගතය සමාරියෙහි බලවත් ව තිබිණි.</verse>
				<verse number="3">ආහබ් ගෙදර ප්‍රධානියා වන ඔබදියාට අඬ ගැසුවේ ය. ඔබදියා වනාහි සමිඳාණන් වහන්සේට බොහෝ‍ සෙයින් ගරුබිය ඇති කෙනෙකි.</verse>
				<verse number="4">මන්ද, ජෙශෙබෙල් සමිඳාණන් වහන්සේගේ දිවැසිවරුන් මරාදැමූ කල්හි, ඔබදියා දිවැසිවරුන් සියදෙනෙකු රැගෙන ගොස්, පණස පණස බැගින් ඔවුන් ගුහාවල සඟවා ආහාර සහ වතුර දී, ඔවුන් පෝෂ්‍ය කෙළේ ය.</verse>
				<verse number="5">ආහබ් ඔබදියාට කතා කොට, “දේශයෙහි සියලු දිය උල්පත් හා ඔයවල් ළඟට යන්න; සියලු සිවුපාවුන් නැති වන්න නොදී අශ්වයන් හා කොටළුවන් පණපිටින් රක්ෂා කරගන්න පිණිස සමහර විට අපට තෘණ සම්බ වේ ය”යි කීවේ ය.</verse>
				<verse number="6">මෙසේ මුළු දේශය පරීක්ෂා කරන පිණිස ඔවුන් එය බෙදාගෙන ආහබ් එක මාර්ගයකින් වෙන ම ගියේ ය; ඔබදියා වෙන් ව වෙන මාර්ගයකින් වෙන ම ගියේ ය.</verse>
				<verse number="7">ඔබදියා යන විට එලියා ඔහුට සම්බ වී ය. ඔබදියා ඔහු හැඳිනගෙන මුණින්තළා වී, “මාගේ ස්වාමීන් වන එලියා ඔබ දැ”යි ඇසී ය.</verse>
				<verse number="8">ඔහු පිළිතුරු දෙමින්, “ඒ මම ය, ‘එලියා මෙහි සිටී ය’යි ඔබ ගොස් ඔබේ ස්වාමියාට කියන්නැ”යි ඔහුට කී ය.</verse>
				<verse number="9">එවිට ඔහු මෙසේ කීවේ ය: “ඔබේ මෙහෙකරු වන මා මරන පිණිස ආහබ්ගේ අතට පාවා දීමට මම මොන පාපයක් කෙළෙම් ද?</verse>
				<verse number="10">ඔබ සොයන පිණිස මාගේ ස්වාමියා මිනිසුන් නොහැරිය ජාතියක් වත්, රාජ්‍යයක් වත් නැතැ යි ඔබේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි. ‘ඔහු මෙහි නැත’ කියා ඔවුන් කී කල, ඔබ ඔවුන්ට සම්බ නොවූ බවට ඔහු ඒ රාජ්‍යවලිනුත්, ජාතීන්ගෙනුත් දිවුරුම් ගත්තේ ය.</verse>
				<verse number="11">එහෙත්, ‘එලියා මෙහි සිටිනු ඇතැ යි ගොස් ඔබේ ස්වාමියාට දන්වන්නැ’යි ඔබ කියන්නෙහි ය.</verse>
				<verse number="12">තවද, මා ඔබ වෙතින් අහක් ව ගිය වහාම දේවාත්මභාවය මා නොදන්න තැනකට ඔබ ගෙනයනු ඇත. මා ගොස් ආහබ්ට කී කල, ඔහුට ඔබ සම්බ නොවන නිසා මා මරනු ඇත. එහෙත්, ඔබේ මෙහෙකරු වන මම, බාල වයසේ පටන් සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය පාමින් සිටියෙමි.</verse>
				<verse number="13">ජෙශෙබෙල් සමිඳාණන් වහන්සේගේ දිවැසිවරුන් මරාදමන කල, මා කළ දේ එනම්, උන් වහන්සේගේ දිවැසිවරුන්ගෙන් සියදෙනෙකු පණස පණස බැගින් ගුහාවල සඟවා ආහාර පාන දී ඔවුන් පෝෂ්‍ය කළ හැටි මාගේ ස්වාමියාට නොකියන ලද්දේ ද?</verse>
				<verse number="14">දැනුත්, ‘එලියා මෙහි සිටින්නේ ය කියා ඔබ ගොස් ඔබේ ස්වාමියාට දන්වන්නැ’යි ඔබ කියන්නෙහි ය. ඔහු මා මරනු ඇත.”</verse>
				<verse number="15">එලියා පිළිතුරු දෙමින්, “මම ඒකාන්තයෙන් ඔහු ඉදිරියෙහි පෙනී සිටින්නෙමි යි මා වැඳුම්පිදුම් කරන සියලු බලැති ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවේ ය.</verse>
				<verse number="16">එවිට ඔබදියා, ආහබ් රජු සම්බ වන්නට ගොස් ඒ බව ඔහුට දැන්වී ය. ආහබ් එලියා සම්බ වන්නට ගියේ ය.</verse>
				<verse number="17">තවද, ආහබ් රජ එලියා දුටු විට, ඔහුට කතා කොට, “ඉශ්රායෙල් ජනයා කළඹන තැනැත්තේ ඔබ දැ”යි ඔහුගෙන් ඇසී ය.</verse>
				<verse number="18">ඔහු උත්තර දෙමින්, “මා නොව ඔබ සහ ඔබේ පියාගේ වංශය සමිඳාණන් වහන්සේගේ ආඥා අත්හැර, බාල් දේවතාවා පසුපස ගිය කාරණය නිසා ඔබ හැම ඉශ්රායෙල් ජනයා කැළඹුවහු ය.</verse>
				<verse number="19">ඉතින්, දැන් පණිවුඩ යවා සියලු ඉශ්රායෙල්වරුන් ද බාල්ගේ දිවැසිවරුන් හාරසිය පණහ ද ජෙශෙබෙල්ගේ මේසයේ වාඩි වී ආහාර වළඳන අෂේරා දේවතාවියගේ දිවැසිවරුන් හාරසියදෙනා ද මා වෙත කර්මෙල්‍ කන්දට රැස් කරන්නැ”යි කී ය.</verse>
				<verse number="20">එවිට ආහබ් මුළු ඉශ්රායෙල් ජනයා අතරට පණිවුඩ යවා දිවැසිවරුන් කර්මෙල්‍ කන්දට රැස් කරවී ය.</verse>
				<verse number="21">එවිට එලියා මුළු සෙනඟ ළඟට අවුත් කතා කොට, “තීරණයක් නොගෙන දෙගිඩියාවෙන් ඔබ කොපමණ කල් සිටින්නහු ද? සමිඳාණන් වහන්සේ දෙවියන් වහන්සේ නම්, උන් වහන්සේ අනුව යන්න. බාල් දේවතාවා දෙවියන් වහන්සේ නම්, ඔහු අනුව යන්නැ”යි කීවේ ය. එහෙත්, සෙනඟ ඔහුට කිසි උත්තරයක් දුන්නේ නැත.</verse>
				<verse number="22">එවිට එලියා සෙනඟට කතා කොට, “සමිඳාණන් වහන්සේගේ දිවැසිවරයෙකු ව, ඉතිරි ව සිටින්නේ මම පමණකි. එහෙත්, බාල් දේවතාවාගේ දිවැසිවරු හාරසිය පණස්දෙනෙක් සිටිති.</verse>
				<verse number="23">එබැවින් අපට ගොනුන් දෙදෙනෙකු දෙත් වා! ඔව්හු එක ගොනෙකු තෝරාගෙන කෑලිවලට කපා, දර පිට තබා යටින් ගිනි නොතබත් වා! මමත් අනික් ගොනා පිළියෙළ කොට දර පිට තබා, යටින් ගිනි නොතබන්නෙමි.</verse>
				<verse number="24">ඔබ හැම ඔබේ දෙවියන්ගේ නාමය කියා යාච්ඤා කරන්න. මමත් සමිඳාණන් වහන්සේගේ නාමය කියා යාච්ඤා කරන්නෙමි. එවිට ගිනි එවීමෙන් උත්තර දෙන දෙවියන් වහන්සේ ම සැබෑ දෙවියන් වහන්සේ වන සේක් වා!”යි කීවේ ය. මුළු සෙනඟ උත්තර දෙමින්, “ඒ කීම යහපතැ”යි කීවෝ‍ ය.</verse>
				<verse number="25">එලියා බාල් දේවතාවාගේ දිවැසිවරුන්ට කතා කොට, “ඔබ හැම බොහෝ දෙනෙකු හෙයින්, පළමුකොට ගොනෙකු තෝරාගෙන පිළියෙළ කර, ඔබේ දෙවියන්ගේ නාමය කියා යාච්ඤා කරන්න. එහෙත්, යටින් ගිනි නොතබන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="26">ඔව්හු තමන්ට ලැබුණු ගොනා රැගෙන පිළියෙළ කොට, උදය පටන් ඉර මුදුන් වේලාව දක්වා බාල් දේවතාවාගේ නාමයෙන් යාච්ඤා කරමින්, “අහෝ බාල් දේවතාවෙනි” කියා කෑ ගසමින්, සාදා තිබුණු පූජාසනය වටේට නට නටා ඇවිද්දෝ ය. එහෙත්, කිසි හඬක් වත්, උත්තර දුන් කිසිවෙක් වත් නො වූ හ.</verse>
				<verse number="27">ඉර මුදුන් වේලාවේ එලියා ඔවුන්ට කවටකම් කරමින්, “ශබ්ද නඟා මොරගසන්න, මන්ද, ඔහු දෙවියෙකි. ඔහු කල්පනා කරමින් හෝ බැහැර ගොසින් හෝ ගමනක් යමින් හෝ ඇත. සමහර විට ඔහු නිදාගෙන සිටියි. ඒ නිසා පුබුදු වන්න උවමනා ය”යි කීවේ ය.</verse>
				<verse number="28">ඔව්හු මහත් හඬින් මොරගසා තමන්ගේ සිරිත අනුව ලේ ඇඟේ ගලා යන තුරු පිහිවලිනුත්, හෙල්ලවලිනුත් තමන්ගේ ශරීර කපාගත්හ.</verse>
				<verse number="29">මද්දහන පසු වී සවස යාගය ඔප්පු කරන වේලාව දක්වා ඔව්හු ඔල්මාදයෙන් දොඩවමින් බෙරිහන් දුන්හ. එහෙත්, කිසි හඬක් වත් උත්තර දුන් කිසිවෙක් වත්, සැලකූ කෙනෙක් වත් නො වූ හ.</verse>
				<verse number="30">එවිට එලියා, “මා ළඟට එන්නැ”යි සෙනඟට කී ය. මුළු සෙනඟ ඔහු ළඟට ආවෝ‍ ය. ඔහු වනාහි කඩා දමා තිබූ සමිඳාණන් වහන්සේගේ පූජාසනය යළි සාදා,</verse>
				<verse number="31">‘නුඹේ නාමය ඉශ්රායෙල් වන්නේ ය’ යන සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ලැබූ ජාකොබ්ගේ පුත්‍රයන්ගේ ගෝත්‍රවල ගණන ලෙස ගල් දොළොසක් රැගෙන</verse>
				<verse number="32">උන් වහන්සේගේ නාමයෙන් පූජාසනයක් ගොඩනැඟී ය. ඉන්පසු ඒ පූජාසනය වටේට වතුර ලීටර් දහහතරක් පමණ අල්ලන තරම් වූ අගලක් කපා,</verse>
				<verse number="33">දර පිළිවෙළින් තබා, ගොනා කැබෙලි කොට කපා දර පිට තැබී ය. තවද, “වතුර සැළි සතරක් පුරවා දවන යාග පූජාව පිටත්, දර පිටත් වත්කරන්නැ”යි ඔහු කීවේ ය.</verse>
				<verse number="34">දෙ වන‍ වරත්, “එසේ ම කරන්නැ”යි ඔහු කී විට ඔව්හු දෙ වන‍ වරත් එසේ කළෝ ය. තුන් වන වරත්, “එසේ ම කරන්නැ”යි ඔහු කී විට, ඔව්හු තුන් වන වරත් එසේ කළෝ ය.</verse>
				<verse number="35">වතුර පූජාසනය වටේට ගලා ගොස්, අගල ද වතුරෙන් පිරුණේ ය.</verse>
				<verse number="36">සවස යාගය ඔප්පු කරන වේලාවේ දිවැසිවර එලියා ළං වී කතා කොට, “ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ඉශ්රායෙල්ගේ ද දෙවි සමිඳාණන් වහන්ස ඔබ ඉශ්රායෙල් හි දෙවියන් වහන්සේ බව ද මා ඔබේ සේවකයා බව ද මා මේ දෙය කෙළේ, ඔබේ වචනය ලෙස බව ද අද ඔවුන්ට දැනගන්නට ලැබේ වා!</verse>
				<verse number="37">සමිඳාණන් වහන්ස මට උත්තර දුන මැනව. ස්වාමීන් වන ඔබ දෙවියන් වහන්සේ බවත්, මේ සෙනඟගේ සිත් නැවත හරවාගත්තේ ඔබ ම බවත් මොවුන් දැනගන්න පිණිස මට උත්තර දුන මැනව”යි කී ය.</verse>
				<verse number="38">එවිට සමිඳාණන් වහන්සේ වෙතින් ගිනි බැස පූජාවත්, දරත්, ගලුත්, ධූලිත් දවා අගලේ වතුරත් වියළවා දැමී ය.</verse>
				<verse number="39">මුළු සෙනඟ එය දැක මුණින්තළා වැටී, “සමිඳාණන් වහන්සේ ම දෙවියන් වහන්සේ ය; සමිඳාණන් වහන්සේ ම දෙවියන් වහන්සේ ය”යි කීවෝ‍ ය.</verse>
				<verse number="40">එලියා ඔවුන්ට කතා කොට, “බාල්ගේ දිවැසිවරුන්ගෙන් එක් කෙනෙකුට වත් ගැළවී යන්න නොදී ඔවුන් අල්ලාගන්නැ”යි කී ය. ඔවුන් අල්ලාගත් පසු, එලියා ඔවුන් කීෂොන් ඔය ළඟට ගෙන ගොස් එහි දී ඔවුන් මැරී ය.</verse>
				<verse number="41">එලියා ආහබ්ට කතා කොට, “හැරී ගොස් කන්න, බොන්න. මන්ද, මහා වර්ෂා හඬක් ඇසේ ය”යි කීවේ ය.</verse>
				<verse number="42">ආහබ් කන බොන පිණිස හැරී ගියේ ය. එලියා කර්මෙල්‍ කන්ද මුදුනට නැඟී, බිම වැටී දණහිස් දෙක අතරේ මුහුණ තබාගෙන,</verse>
				<verse number="43">“ඔබ ගොස් මුහුද දෙස බලන්නැ”යි තම වැඩකාරයාට කී ය. ඔහු ගොස් බලා අවුත්, “කිසිවක් නැතැ”යි කී විට, “නැවත සත්වරක් යන්නැ”යි ඔහු කීවේ ය.</verse>
				<verse number="44">සත් වන වර ඔහු කතා කොට, “මිනිසෙකුගේ අතක් වැනි කුඩා වලාකුළක් මුහුදින් නැඟී එන්නේ ය”යි කීවේ ය. ඔහු ද, “ ‘වැස්ස ඔබ නොවළක්වන පිණිස ඔබේ රථය සූදානම් කරගෙන ගිය මැනව’ කියා ඔබ ගොස් ආහබ්ට කියන්නැ”යි දැන්වී ය.</verse>
				<verse number="45">ඉක්බිති මඳ වේලාවකින් අහස වලාකුළුවලින් ද සුළඟින් ද අඳුරු විය. මහත් වැස්සක් ද ඇති විය. ආහබ් රථයට නැඟී ජෙශ්‍රෙයෙල් නම් නගරයට ගියේ ය.</verse>
				<verse number="46">සමිඳාණන් වහන්සේගේ බලය එලියා පිට පැමිණි නිසා, ඔහු සිය ඉඟටිය වටා වූ වස්ත්‍රය අල්ලාගෙන ආහබ්ට පෙරටු ව ජෙශ්‍රෙයෙල් නගරයට ඇතුළු වන තැන දක්වා දිවී ය.</verse>
			</chapter>
			<chapter number="19">
				<verse number="1">එලියා කළ සියල්ලත්, ඔහු සියලු දිවැසිවරුන් කඩුවෙන් මරාදැමූ බවත් ආහබ් ජෙශෙබෙල්ට දැන්වී ය.</verse>
				<verse number="2">එවිට ජෙශෙබෙල් කතා කොට, “මා හෙට මේ වේලාවට පමණ ඔබේ ප්‍රාණය ඒ දිවැසිවරුන්ගෙන් එක් කෙනෙකුගේ ප්‍රාණය මෙන් වන්නට සැලැස්සුවේ නැත්නම්, දෙවිවරු මා ඉතා දරුණු ලෙස මරාදමත් වා”යි පණිවුඩකාරයෙකු අත එලියාට කියා ඇරියා ය.</verse>
				<verse number="3">ඔහු ඒ අසා බිය වී තම පණ ගළවාගැනීමට පලා ගියේ ය. මෙසේ ගොස් ඔහු ජුදාට අයිති බෙයර්-ෂෙබා නම් ස්ථානයට පැමිණ තම වැඩකාරයා එහි නවතින්නට හැර,</verse>
				<verse number="4">තමා ම මුළු දවසක ගමන් ප්‍රමාණය නිමවමින් පාළුකරයට පිවිස රෝතෙම් නම් ගසක් යට වාඩි වී, තමා මැරෙන ලෙස ඉල්ලමින් “සමිඳාණන් වහන්ස, ඉතින් ඇත, දැන් මාගේ ප්‍රාණය ගත මැනව. මන්ද, මාගේ පියවරුන්ට වඩා මම උතුම් නොවෙමි”යි කී ය.</verse>
				<verse number="5">මෙසේ කියා ඔහු ඒ රෝතෙම් ගස යට වැතිර නිදාගත්තේ ය. එවිට දේව දූතයෙක් ඔහුට අතගසා, “නැඟිට කන්නැ”යි කී හෙයින්,</verse>
				<verse number="6">ඔහු බැලූ විට තම හිස ළඟ අඟුරු පිට පිළිස්සූ රොටියක් හා වතුර භාජනයක් තිබෙනු දැක කා බී නැවත වැතුරුණේ ය.</verse>
				<verse number="7">තවද, සමිඳාණන් වහන්සේගේ දූතයා දෙ වන‍ වර අවුත්, ඔහුට අතගසා, “නැඟිට කන්න, ගමන නුඹට දුර වැඩි වන්න පුළුවනැ”යි කීවේ ය.</verse>
				<verse number="8">ඔහු නැඟිට කා බී, ඒ ආහාරයේ සවි ශක්තියෙන් දවල් සතළිසක් හා රෑ සතළිසක් ගමන් කර දෙවියන් වහන්සේගේ කන්ද වන හොරෙබ් ළඟට පැමිණියේ ය.</verse>
				<verse number="9">පසු ව ඔහු එහි ගුහාවකට ඇතුළු වී නවාතැන් ගත්තේ ය. සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ද ඔහු වෙත පැමිණියේ ය. උන් වහන්සේ ඔහුට කතා කොට, “එලියා, නුඹ මෙහි කුමක් කරන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක.</verse>
				<verse number="10">ඔහු පිළිතුරු දෙමින්, “මම සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ උදෙසා බොහෝ‍ උද්‍යෝගයෙන් සේවය කෙළෙමි. කුමක්හෙයින් ද, ඉශ්රායෙල් ජනයා ඔබේ ගිවිසුම අත්හැර, ඔබේ පූජාසන කඩාදමා, ඔබේ දිවැසිවරුන් ද කඩුවෙන් මැරුවෝ‍ ය. ඉතුරු ව සිටින්නේ මම පමණක් ය. ඔව්හු මාගේ ප්‍රාණයත් නැති කරන්න සොයති”යි කී ය.</verse>
				<verse number="11">උන් වහන්සේ කතා කොට, “පිටතට අවුත් කන්ද උඩ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටින්නැ”යි වදාළ සේක. එවිට සමිඳාණන් වහන්සේ ඒ ළඟින් ගිය සේක. උන් වහන්සේට පෙරටුවෙන් මහා බලවත් හුළඟක් කඳු දෙදරවා, පර්වත බිඳගෙන ගියේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ සුළඟෙහි නොවූ සේක. සුළඟට පසු පොළෝ කම්පාවක් විය. එහෙත්, සමිඳාණන් වහන්සේ පොළෝ කම්පාවෙහි නොවූ සේක.</verse>
				<verse number="12">පොළෝ කම්පාවට පසු ගින්නක් විය. එහෙත්, සමිඳාණන් වහන්සේ ගින්නෙහි නොවූ සේක. ගින්නට පසු මඳ පවනක හඬක් විය.</verse>
				<verse number="13">එලියා ඒ අසා තමාගේ මුහුණ සළුවෙන් වසාගෙන පිටතට ගොස් ගුහාවේ දොරකඩ සිටියේ ය. එවිට හඬක් ඔහු වෙත පැමිණ, “එලියා නුඹ මෙහි කුමක් කරන්නෙහි දැ”යි ඇසී ය.</verse>
				<verse number="14">ඔහු ද, “මම සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ උදෙසා බොහෝ‍ උද්‍යෝගයෙන් සේවය කෙළෙමි. මන්ද, ඉශ්රායෙල් ජනයා ඔබේ ගිවිසුම අත්හැර, ඔබේ පූජාසන කඩාදමා, ඔබේ දිවැසිවරුන් කඩුවෙන් මැරුවෝ‍ ය. ඉතුරු ව සිටින්නේ මම පමණකි. ඔව්හු මාගේ ප්‍රාණයත් නැති කරන්නට සොයති”යි කීවේ ය.</verse>
				<verse number="15">සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “යන්න, දමස්කයේ පාළුකර මාර්ගයෙන් ම ආපසු යන්න. ගොස් හසායෙල් සිරියාවේ රජකමට ආලේප කරන්න.</verse>
				<verse number="16">නිම්ෂිගේ පුත් ජේහු ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් ආලේප කරන්න. ආබෙල් මෙහොලාහී ෂාපාත්ගේ පුත් එලිෂා නුඹ වෙනුවට දිවැසිවරයෙකු ලෙස ආලේප කරන්න.</verse>
				<verse number="17">හසායෙල්ගේ කඩුවෙන් ගැළවෙන අය ජේහු විසින් මරනු ලබත්. ජේහුගේ කඩුවෙන් ගැළවෙන අය එලිෂා විසින් මරනු ලබත්.</verse>
				<verse number="18">එසේ වුවත්, බාල් දේවතාවාට නොනැමූ දණ ඇති, ඔහු සිප නොගත් මුඛ ඇති සත්දහස්දෙනෙකු ඉශ්රායෙල්වරුන් අතරෙහි ඉතුරු කරගන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="19">මෙසේ එලියා එතැනින් ගිය විට ෂාපාත්ගේ පුත් එලිෂා ඔහුට සම්බ විය. එලිෂා ගවයන් දොළොස් බානක් පිටුපස හාමින් සිටියේ ය. දොළොස් වන බාන සමඟ එලිෂා සිටිනු ඔහු දිටී ය. එලියා ඔහු ළඟට ගොස් සිය සළුව ඔහු පිට හෙළී ය.</verse>
				<verse number="20">එවිට ඔහු ගවයන් අත්හැර එලියා පසුපස දුව ගොස්, “මාගේ පියාණන් හා මෑණියන් සිඹ එන්නට මට අවසර ලැබේ වා! ඉන්පසු ඔබ පසුපස එන්නෙමි”යි කීවේ ය. ඔහු ද කතා කොට, “හැරී යන්න; මම ඔබ නොවළක්වමි”යි ඔහුට කීවේ ය.</verse>
				<verse number="21">එවිට එලියා වෙතින් එලිෂා හැරී ගොස් ගවයන් බාන රැගෙන මරා, ගවයන්ගේ වියදඬු දර වශයෙන් පාවිච්චි කර, උන්ගේ මස් තම්බා, මිනිසුන්ට දුන්නේ ය. ඔව්හු ද එය කෑවෝ‍ ය. පසු ව එලිෂා නැඟිට එලියා පසුපස ගොස් ඔහුට සේවය කෙළේ ය.</verse>
			</chapter>
			<chapter number="20">
				<verse number="1">සිරියාවේ රජ වන බෙන්‍-හදද් සිය මුළු සේනාව රැස් කොට, තවත් රජවරුන් තිස්දෙදෙනෙකු ද අශ්වයන් ද අශ්වරථ ද සමඟ අවුත් සමාරිය වටලා ඊට විරුද්ධ ව යුද්ධ කෙළේ ය.</verse>
				<verse number="2">ඔහු නගරයේ සිටි ඉශ්රායෙල් රජ වන ආහබ් වෙත පණිවුඩකාරයන් යවමින්,</verse>
				<verse number="3">“ඔබේ රන් රිදී සහ භාර්යාවන් ද දරුවන්ගෙන් ඉතා ප්‍රසන්න අය ද මට පාවා දිය යුතු ය”යි ඔහුට දන්වා යැවී ය.</verse>
				<verse number="4">ඉශ්රායෙල් රජ ද, “මාගේ ස්වාමීන් වන රජතුමනි, ඔබේ කීම ප්‍රකාර මමත්, මට ඇති සියල්ලත් ඔබට අයත් වෙමු”යි උත්තර දුන්නේ ය.</verse>
				<verse number="5">පණිවුඩකාරයෝ නැවත අවුත් කතා කොට, “ඔබේ රන් රිදී ද ඔබේ අඹු දරුවන් ද ඔබ මට දෙන්න ඕනෑ යයි ඔබට කියා එවීමි.</verse>
				<verse number="6">ඇරත් හෙට මේ වේලාවට පමණ මාගේ සේවකයන් ඔබ ළඟට එවන්නෙමි. ඔවුන් ඔබේත්, ඔබේ සේවකයන්ගේත් ගෙවල් සෝදිසි කර, ඔබට ප්‍රසන්න වන සියල්ල ම ඔවුන්ගේ අතට ගෙන එනු ඇත කියා බෙන්‍-හදද් කියන්නේ ය”යි සැළ කළහ.</verse>
				<verse number="7">එවිට ඉශ්රායෙල් රජ දේශයේ සියලු ප්‍රජා මූලිකයන් කැඳවා, “මේ මිනිසා නපුරක් කරන්න සොයන හැටි කල්පනා කර බලන්න, ඔහු මාගේ භාර්යාවන් ද මාගේ දරුවන් ද මාගේ රන් රිදී ද මාගෙන් ඉල්ලා එවූ විට, දෙන්නට බැරිය කියා මම නොකීවෙමි”යි දැන්වී ය.</verse>
				<verse number="8">සියලු ප්‍රජා මූලිකයෝ ද මුළු සෙනඟ ද කතා කොට, “ඔබ ඇහුම්කන් නුදුන මැනව; ඊට එකඟ නූණ මැනව”යි ඔහුට කී හ.</verse>
				<verse number="9">එබැවින් ඔහු බෙන්‍-හදද්ගේ පණිවුඩකාරයන්ට කතා කොට, “ඔබ පළමුවෙන් ඔබේ මෙහෙකරුවා අත කියා එවූ සියල්ල ම කරන්නෙමි, එහෙත්, මේ දේ මට කරන්නට බැරිය කියා මාගේ ස්වාමීන් වන රජතුමා හට දන්වන්නැ”යි කී ය. පණිවුඩකාරයෝ ද පිටත් ව ගොස් ඔහුට එම උත්තරය දැන් වූ හ.</verse>
				<verse number="10">බෙන්‍-හදද් ද කතා කොට, “සමාරියේ දූවිලි මා පසුපස එන සියල්ලන්ගෙන් එක එකාට මිට මිට බැගින් ගන්න වත් මදිවන තරම් විශාල සෙනඟක් නාවොත්, දෙවිවරු මට ඉතා දරුණු ලෙස දඬුවම් කරත් වා”යි ඔහුට දන්වා ඇරියේ ය.</verse>
				<verse number="11">ඉශ්රායෙල් රජ පිළිතුරු දෙමින්, “උදම් ඇනිය යුත්තේ යුද්ධායුධ පළඳන්නා නොව ඒවා ගලවන්නා ය කියා ඔහුට දන්වන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="12">රජුන් සමඟ කූඩාරම්වල මත්පැන් පානය කරමින් සිටි බෙන්‍-හදද් ඒ කීම ඇසූ විට, “සටනට සැරසෙන්නැ”යි සිය සේවකයන්ට කීවේ ය. ඔව්හු ද නගරයට විරුද්ධ ව සැරසී සිටගත්හ.</verse>
				<verse number="13">එවිට දිවැසිවර කෙනෙක් ඉශ්රායෙල් හි රජ වන ආහබ් ළඟට අවුත් කතා කොට, “මේ මුළු මහා සේනාව ඔබ දුටුවෙහි ද? ‘මා සමිඳාණන් වහන්සේ බව ඔබ දැනගන්න පිණිස මම අද ඔවුන් ඔබ අතට පාවා දෙමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි පැවසී ය.</verse>
				<verse number="14">ආහබ්, “කවරෙකුගේ මාර්ගයෙන් දැ”යි ඇසූ විට, ඔහු උත්තර දෙමින්, “ජනපදවල අධිපතීන්ගේ තරුණ භටයන් ලවා ය කියා සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි දැන්වී ය. එවිට ආහබ්, “සටන පටන් ගන්නේ කවරෙක් දැ”යි ඇසූ විට ඔහු ද, “ඔබ ය”යි උත්තර දුන්නේ ය.</verse>
				<verse number="15">ඉන්පසු ආහබ් ජනපදවල අධිපතීන්ගේ සේවකයන් රැස් කෙළේ ය. ඔව්හු දෙසියතිස්දෙදෙනෙක් වූ හ. ඔවුන්ට පසු ව ඔහු මුළු සෙනඟ වන සියලු ඉශ්රායෙල් ජනයා ද රැස් කෙළේ ය. ඔව්හු සත්දහසක් වූ හ.</verse>
				<verse number="16">ඉර මුදුන් වේලේ ඔව්හු පිටතට ගියෝ ය. එහෙත්, බෙන්‍-හදද් වනාහි තමාට උපකාර කරන රජවරුන් තිස්දෙනා සමඟ මත් වන තරමට මිදියුස පානය කරමින් කූඩාරම්වල සිටියේ ය.</verse>
				<verse number="17">ජනපදවල අධිපතීන්ගේ සේවකයෝ පළමුවෙන් පිටතට ගියෝ ය. බෙන්‍-හදද් සොයා බැලූ විට, “මිනිසුන් සමහරෙක් සමාරියෙන් පිටතට ආවෝ‍ යැ”යි දන්වන ලදී.</verse>
				<verse number="18">ඔහු ද කතා කොට, “ඔව්හු සාමදානය පිණිස පැමිණියෝ නම්, පණපිටින් අල්ලාගන්න. යුද්ධය පිණිස පැමිණියෝ නම්, එසේ වුණත්, පණපිටින් අල්ලාගන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="19">මෙසේ ජනපදවල අධිපතීන්ගේ සේවකයෝ ද ඔවුන් අනුව ගිය සේනාව ද නගරයෙන් පිටතට ගොස්</verse>
				<verse number="20">එකිනෙකා එක මිනිසෙකු බැගින් මැරූ හ. එවිට සිරියාවේ වැසියෝ පලා ගියහ. ඉශ්රායෙල්වරු ද ඔවුන් ලුහුබැඳ ගියහ. සිරියාවේ රජ වන බෙන්‍-හදද් අසෙකු පිට නැඟී සිය අශ්වාරෝහක පිරිසක් සමඟ ගැළවී ගියේ ය.</verse>
				<verse number="21">ඉශ්රායෙල් රජ පිටතට ගොස් අශ්වයන්ට ද අශ්ව රථවලට ද පහර දී සිරියාවේ වැසියන් හොඳට ම පරාජය කෙළේ ය.</verse>
				<verse number="22">දිවැසිවරයා ඉශ්රායෙල් රජු වෙත පැමිණ, “ලබන වසන්ත කාලයේ දී සිරියාවේ රජ ඔබට විරුද්ධ ව එනු ඇත. එබැවින් ඔබ ශක්තිමත් වී කුමක් කළ යුතු ද කියා කල්පනා කර බලන්නැ”යි කී ය.</verse>
				<verse number="23">තවද, සිරියාවේ රජුගේ සේවකයෝ ඔහුට කතා කොට, “ඔවුන්ගේ දෙවියෝ කඳුවල දෙවි කෙනෙකි. එබැවින් ඔව්හු අපට වඩා බලවත් වූවෝ‍ ය. එහෙත්, සම භූමියෙහි අපි ඔවුන්ට විරුද්ධ ව සටන් කරමු නම්, අපි සැබැවින් ම ඔවුන් පරාජය කරන්නෙමු.</verse>
				<verse number="24">මෙලෙස කළ යුතු ය. රජවරුන් තම තමන්ගේ ස්ථානවලින් ඉවත් කොට, ඔවුන් වෙනුවට සේනාපතීන් සිටුවා,</verse>
				<verse number="25">නැති වූ ඔබේ සේනාව හා සමාන සේනාවක් ද අශ්වයන් හා සමාන අශ්වයන් ද අශ්ව රථ හා සමාන අශ්ව රථ ද ගණන් කරගත මැනව. එවිට අපි සම භූමියෙහි ඔවුන්ට විරුද්ධ ව සටන් කරන්නෙමු නම්, අපි සැබැවින් ම ඔවුන් පරාජය කරන්නෙමු”යි කී හ. ඔහු ද ඔවුන්ගේ හඬට ඇහුම්කන් දී එසේ කෙළේ ය.</verse>
				<verse number="26">ඊට පසු පැමිණි වසන්ත කාලයේ දී බෙන්‍-හදද් සිරියාවේ වැසියන් රැස් කොට ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටනට අපෙක් නම් ස්ථානයට ගියේ ය.</verse>
				<verse number="27">ඉශ්රායෙල් ජනයා ද රැස් කරනු ලැබ, සන්නාහ සන්නද්ධ වී ඔවුන්ට විරුද්ධ ව ගියහ. ඉශ්රායෙල් ජනයා කුඩා එළු පට්ටි දෙකකට සමාන ව ඔවුන් ඉදිරියේ කඳවුරු බැඳ සිටියහ. එහෙත්, සිරියාවේ වැසියන්ගෙන් දේශය පිරී තිබිණි.</verse>
				<verse number="28">දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළං වී ඉශ්රායෙල් රජුට කතා කොට, “ ‘සමිඳාණන් වහන්සේ කඳුවල දෙවි කෙනෙකු මිස, මිටියාවතේ දෙවි කෙනෙක් නොවන සේකැ’යි සිරියාවේ වැසියන් කී නිසා, ‘මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්න පිණිස මේ මුළු මහා සමූහය නුඹ අතට පාවා දෙන්නෙමි”යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි පැවසී ය.</verse>
				<verse number="29">තවද, එක් සෙනඟක් අනික් සෙනඟට ඉදිරියෙන් සත් දවසක් කඳවුරු බැඳ සිටියෝ ය. සත් වන දින යුද්ධය ඇරඹිණි. ඉශ්රායෙල් ජනයා සිරියාවේ වැසියන්ගේ පාබල සේනාවෙන් ලක්ෂයක් එක දවසක දී මැරූ හ.</verse>
				<verse number="30">ඉතිරි අය අපෙක් නම් නගරය තුළට පලා ගියහ. එහි දී ඉතිරි ව සිටි විසිහත්දහසක් මනුෂ්‍යයන් පිට පවුරු වැටිණි. බෙන්‍-හදද් පලා ගොස් නගරයට පැමිණ ඇතුළු ගෙයකට ගියේ ය.</verse>
				<verse number="31">එවිට ඔහුගේ සේවකයෝ ඔහුට කතා කොට, “ඉශ්රායෙල් වංශයේ රජවරුන් කරුණාවන්ත රජවරුන් බව අප අසා ඇත. ඉතින්, අපේ ඉඟටිවල ගෝණි රෙදි බැඳගෙන, හිස් මත ලණු දමාගෙන, ඉශ්රායෙල් රජු ළඟට යන්නට අපට අවසර දෙනු මැනව, සමහර විට ඔහු ඔබේ ප්‍රාණය ආරක්ෂා කරනු ඇතැ”යි කී හ.</verse>
				<verse number="32">එවිට ඔව්හු තමන්ගේ ඉඟටිවල ගෝණි රෙදි බැඳගෙන, හිස් මත ලණු දමාගෙන, ඉශ්රායෙල් රජු ළඟට පැමිණ, “ඔබේ මෙහෙකරු වන බෙන්‍-හදද්, ‘මාගේ ප්‍රාණය ආරක්ෂා කළ මැනව’යි කියන්නේ ය”යි සැළ කළහ. එවිට ආහබ් කතා කොට, “ඔහු තව ම ජීවත් ව සිටී ද? ඔහු මාගේ සහෝදරයා ය”යි කීවේ ය.</verse>
				<verse number="33">ඒ මනුෂ්‍යයො ද රජු කී වචනය හොඳ ලකුණක් කොට සලකා, එය වහා පිළිගෙන, “ඔහු ඔබේ සහෝදරවන බෙන්‍-හදද් ය”යි කීවෝ‍ ය. ඔහු ද කතා කොට, “ඔබ ගොස් ඔහු කැඳවාගෙන එන්නැ”යි කී ය. එකල බෙන්‍-හදද් ඔහු වෙත පැමිණියේ ය. රජ ද ඔහු රථයට නංවාගත්තේ ය.</verse>
				<verse number="34">බෙන්‍-හදද් ද කතා කරමින්, “මාගේ පියාණන් විසින් ඔබේ පියාණන්ගෙන් ගන්න ලද නගර ආපසු දෙන්නෙමි. මාගේ පියාණන් සමාරියෙහි වෙළෙඳ පොළවල් සෑදූ ලෙස ඔබට ද දමස්කයෙහි සාදාගන්න පුළුවනැ”යි කීවේ ය. ආහබ් ද කතා කොට, “මම ද මේ ගිවිසුම පිට ඔබ යන්න හරිමි”යි ඔහු සමඟ ගිවිසුමක් කර ඔහු යන්නට හැරියේ ය.</verse>
				<verse number="35">දිවැසිවරුන්ගේ කණ්ඩායමෙන් එක්තරා මිනිසෙක් සමිඳාණන් වහන්සේගේ අණ පරිදි තමාගේ සහකාරයාට කතා කොට, “මට ගසන්නැ”යි කී ය. එහෙත්, ඒ මිනිසා ඔහුට ගසන්න අකමැති විය.</verse>
				<verse number="36">එවිට ඔහු, “ඔබ සමිඳාණන් වහන්සේගේ අණට කීකරු නොවූ නිසා මා ළඟින් අහක් ව ගිය කෙණෙහි ම සිංහයෙක් ඔබ මරන්නේ ය”යි කීවේ ය. ඔහු අහක් ව ගිය කෙණෙහි ම සිංහයෙක් ඔහුට සම්බ වී ඔහු මැරුවේ ය.</verse>
				<verse number="37">තවත් මිනිසෙකු ඔහුට සම්බ වී, “මට ගසාපන්නැ”යි ඔහු කීවේ ය. ඒ මිනිසා ඔහුට ගසා, එසේ ගැසීමෙන් තුවාළ කෙළේ ය.</verse>
				<verse number="38">එවිට දිවැසිවරයා පිටත් ව තමාගේ හිස්වැස්මෙන් ඇස් බැඳගෙන, වෙස්මාරු කරගෙන, රජු එනතෙක් මඟ බලා සිටියේ ය.</verse>
				<verse number="39">රජු ඒ ළඟින් යන කල ඔහු රජුට මොරගසා, “ඔබේ මෙහෙකරු වන මම සටන් මධ්‍යයට ගියෙමි. එවිට එක් මිනිසෙක් තවත් මිනිසෙකු මා ළඟට ගෙනවුත් කතා කොට, ‘මේ මිනිසා බලාගන්න. ඔහු යම් අන්දමකින් ගැළවී ගියොත්, ඔහුගේ ප්‍රාණය වෙනුවට ඔබේ ප්‍රාණය දෙන්නට වේ. නැතහොත් රිදී කාසි තුන්දාහක් ගෙවිය යුතු ය’යි කීවේ ය.</verse>
				<verse number="40">එහෙත්, ඔබේ මෙහෙකරුවා නොයෙක් කටයුතු කරන අතර ඔහු සැඟවී ගියේ ය”යි කීවේ ය. ඉශ්රායෙල් රජ, “ඔබේ තීන්දුව එසේ ම වන්නේ ය. ඔබ ම ඒක තීන්දු කෙළෙහි ය”යි කීවේ ය.</verse>
				<verse number="41">එවිට ඔහු වහා ම හිස්වැස්ම තමාගේ ඇස්වලින් ඉවත් කෙළේ ය. එවිට ඔහු දිවැසිවරයෙකු බව ඉශ්රායෙල් රජ හැඳිනගත්තේ ය.</verse>
				<verse number="42">ඔහු රජුට කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මා විසින් මරණයට නියම කරන ලද මිනිසා නුඹ නිදහස් කර හැරිය බැවින් ඔහුගේ ප්‍රාණය වෙනුවට නුඹේ ප්‍රාණය ද ඔහුගේ සෙනඟ වෙනුවට නුඹේ සෙනඟ ද දෙන්න වේ යැ’ ”යි කීවේ ය.</verse>
				<verse number="43">ඉශ්රායෙල් රජ ශෝකයෙන් ද කෝපයෙන් ද යළි සමාරියට පැමිණියේ ය.</verse>
			</chapter>
			<chapter number="21">
				<verse number="1">ඉන්පසු මෙසේ සිදු විය. සමාරියේ රජු වන ආහබ්ගේ මාලිගාවට සමීපව ජෙශ්‍රෙයෙල් නගරයේ නාබොත්ට මිදි වත්තක් තිබිණි.</verse>
				<verse number="2">ආහබ් නාබොත්ට කතා කොට, “ඔබේ මිදි වත්ත මාගේ ගෙට සමීපව තිබෙන නිසා එය මට එළවලු වත්තක් පිණිස දෙන්න; ඒ වෙනුවට ඊට වඩා හොඳ මිදි වත්තක් ඔබට දෙන්නෙමි. එසේ නැත්නම්, ඔබ කැමැති නම්, එහි වටිනා මිල ඔබට දෙන්නෙමි”යි කී ය.</verse>
				<verse number="3">“මාගේ පියවරුන්ගේ උරුමය ඔබට දීමෙන් සමිඳාණන් වහන්සේ මා වළක්වන සේක් වා”යි නාබොත් ආහබ්ට කී ය.</verse>
				<verse number="4">එසේ ජෙශ්‍රෙයෙලීය නාබොත් කතා කොට, “මාගේ පියවරුන්ගේ උරුමය ඔබට නොදෙමි”යි කී ඒ වචනය නිසා ආහබ් ශෝක වී කෝපයෙන් තමාගේ ගෙට ගොස් ඇඳේ වැතිර, මුහුණ අහකට හරවාගෙන, කෑම නොකා සිටියේ ය.</verse>
				<verse number="5">එවිට ඔහුගේ භාර්යාව වන ජෙශෙබෙල් ඔහු ළඟට අවුත්, “ඔබ සිත අප්‍රසන්න ව තිබෙන්නේත්, ඔබ කෑම නොකා සිටින්නේත් මක්නිසා දැ”යි ඔහුගෙන් ඇසුවා ය.</verse>
				<verse number="6">ඔහු ද, “මම ජෙශ්‍රෙයෙලීය නාබොත්ට කතා කොට, ‘ඔබේ මිදි වත්ත මට මිලේට දෙන්න; එසේ නැත්නම්, ඔබ කැමැති නම්, මම එය වෙනුවට ඔබට මිදිවත්තක් දෙන්නෙමි’යි ඔහුට කීවෙමි. එහෙත්, ඔහු මට උත්තර දෙමින්, ‘මාගේ මිදි වත්ත ඔබට නොදෙන්නෙමි’යි කීවේ යැ”යි ඈට කී ය.</verse>
				<verse number="7">ඔහුගේ භාර්යාව වන ජෙශෙබෙල් කතා කොට, “දැන් රට පාලනය කරන රජ ඔබ නොවන්නෙහි ද? නැඟිට කෑම කා ඔබේ සිත ප්‍රීති කරගන්න. මම ජෙශ්‍රෙයෙලීය නාබොත්ගේ මිදි වත්ත ඔබට ලබා දෙන්නෙමි”යි ඔහුට කීවා ය.</verse>
				<verse number="8">ඈ ආහබ්ගේ නමින් ලියුම් ලියා ඔහුගේ මුද්‍රාවෙන් මුද්‍රා කොට, නාබොත් සමඟ ඔහුගේ නුවර විසූ ප්‍රජා මූලිකයන්ටත්, ප්‍රභූවරුන්ටත් ඒ ලියුම් යැව්වා ය.</verse>
				<verse number="9">ඈ ලියුම්වල මෙසේ ලීවා ය: “ඔබ හැම උපවාසයක් ප්‍රකාශ කොට, නාබොත් සෙනඟ ඉදිරියෙහි මුල් තැන සිටුවා ඔහු ඉදිරිපිට තක්කඩියන් දෙදෙනෙකු සිටුවන්න.</verse>
				<verse number="10">ඔව්හු ඔහුට විරුද්ධ ව චෝදනා කරමින්, ‘ඔබ දෙවියන් වහන්සේටත්, රජුටත් සාප කෙළෙහි ය’යි කියත් වා. පසු ව ඔහු පිටතට ගෙන ගොස් ගල් ගසා මරන්න.”</verse>
				<verse number="11">ඔහුගේ නගරවැසියන් වන ඒ නගරයේ විසූ ප්‍රජා මූලිකයෝ ද ප්‍රභූවරු ද ජෙශෙබෙල් තමන්ට යැවූ ලියුම්වල ලියා තිබුණු ප්‍රකාරයට කළෝ ය.</verse>
				<verse number="12">ඔව්හු උපවාසයක් ප්‍රකාශ කොට, නාබොත් සෙනඟ ඉදිරිපිට මුල් තැනක සිටෙව්වෝ‍ ය.</verse>
				<verse number="13">තක්කඩියන් දෙදෙනෙක් පැමිණ ඔහු ඉදිරියෙහි වාඩි වී, “නාබොත් දෙවියන් වහන්සේටත්, රජුටත් සාප කෙළේ ය”යි සෙනඟ ඉදිරියේ නාබොත්ට විරුද්ධ ව චෝදනා කළෝ ය. එවිට ඔව්හු ඔහු නගරයෙන් පිටතට ගෙන ගොස් ගල් ගසා මරා,</verse>
				<verse number="14">“නාබොත් ගල් ගසනු ලැබ මළේ ය”යි ජෙශෙබෙල්ට කියා යැවුවෝ‍ ය.</verse>
				<verse number="15">තවද, නාබොත් ගල් ගසනු ලැබ මියගිය බව ජෙශෙබෙල් ඇසූ විට, ඈ ආහබ්ට කතා කොට, “ජෙශ්‍රෙයෙලීය නාබොත් ඔබට විකුණන්නට අකමැති වූ ඔහුගේ මිදි වත්ත ඔබ ගොස් හිමි කරගන්න. මන්ද නාබොත් ජීවත් ව නැත. මියගොස් ඇතැ”යි කීවා ය.</verse>
				<verse number="16">නාබොත් මළ බව ආහබ් ඇසූ විට, ඔහු ජෙශ්‍රෙයෙලීය නාබොත්ගේ මිදි වත්ත අයිති කරගන්න පිණිස එහි යන්න පිටත් වුණේ ය.</verse>
				<verse number="17">තවද, සමිඳාණන් වහන්සේගේ පණිවුඩය තිෂ්බීය එලියා වෙත පැමිණ,</verse>
				<verse number="18">“නුඹ පිටත් ව සමාරියේ වසන ඉශ්රායෙල් රජු වන ආහබ් රජු හමුවන්න යන්න. ඔහු නාබොත්ගේ මිදි වත්ත අයිති කරගන්න එහි ගොස් සිටියි.</verse>
				<verse number="19">නුඹ ඔහුට කතා කොට, ‘නුඹ ඒ වත්ත මිනී මරා අයිති කරගත්තෙහි දැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි කියන්න. තවද, ‘බල්ලෝ යම් තැනක දී නාබොත්ගේ ලේ ලෙවකෑවෝ‍ ද එතැන්හි දී බල්ලෝ නුඹේ ලේ එසේ ය, නුඹේ ම ලේත් ලෙවකන්නෝ යයි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි ඔහුට දන්වන්නැ”යි කී ය.</verse>
				<verse number="20">ආහබ් ද කතා කොට, “අහෝ මාගේ හතුර, ඔබ මා සොයාගත්තෙහි දැ”යි එලියාට කී ය. ඔහු උත්තර දෙමින්, “මම නුඹ සොයාගතිමි. මක්නිසා ද, නුඹ සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කරන්න නුඹ ම භාර වී සිටින්නෙහි ය.</verse>
				<verse number="21">බලන්න ‘මම නුඹ පිට විපත පමුණුවා නුඹ සහමුලින් ම අහකට නෙරපාදමා, නුඹේ පවුලට අයත් සියලු පිරිමින්, ඉශ්රායෙල්වරුන් අතරෙහි දාසයන් වුවත්, නිර්දාසයන් වුවත්, මරා දමා,</verse>
				<verse number="22">නුඹ මා කෝප කරවමින් ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සලස්වමින් කළ ක්‍රියාව නිසා, නුඹේ වංශය නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ වංශය මෙන් ද අහියාගේ පුත් බාෂාගේ වංශය මෙන් ද කරන්නෙමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="23">උන් වහන්සේ ජෙශෙබෙල් ගැන ද කතා කොට, ‘ජෙශ්‍රෙයෙල් නගරයේ පවුර ළඟ දී බල්ලෝ ජෙශෙබෙල් කන්නෝ ය.</verse>
				<verse number="24">ආහබ්ගේ වංශයෙන් නුවර තුළ දී මැරෙන අය බල්ලෝ කන්නෝ ය. පිටත දී මැරෙන අය පක්ෂීහු කන්නෝ ය’යි වදාළ සේකැ”යි කීවේ ය.</verse>
				<verse number="25">සැබැවින් ම තම භාර්යාව වන ජෙශෙබෙල් විසින් පොළඹවනු ලැබ සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කරන්න භාර වූ ආහබ්ට සමාන කිසිවෙක් නොසිටියේ ය.</verse>
				<verse number="26">සමිඳාණන් වහන්සේගේ ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි පන්නාදැමූ අමෝරිවරුන් කළ සියල්ල ලෙස ඔහු දේව රූප පසුපස ගොස් ඉතා පිළිකුල් ක්‍රියා කෙළේ ය.</verse>
				<verse number="27">ආහබ් ඒ වචන ඇසූ විට ශෝකයෙන් තම ඇඳුම් ඉරාගෙන, ඇඟේ හමට ගෑවෙන පරිදි ගෝණි රෙදි දමාගෙන, නිරාහාර ව ගෝණි රෙදි පිට නිදාගනිමින් කලකිරුණ ස්වභාවයකින් හැසුරුණේ ය.</verse>
				<verse number="28">එකල්හි සමිඳාණන් වහන්සේගේ වචනය තිෂ්බීහි එලියා වෙත පැමිණ,</verse>
				<verse number="29">“ආහබ් මා ඉදිරියෙහි යටත් වූ අයුරු නුඹ දුටුවෙහි ද? ඔහු මා ඉදිරියෙහි යටත් වූ බැවින් ඒ විපත ඔහුගේ කාලයේ දී නොව, ඔහුගේ පුත්‍රයාගේ කාලයේ දී ඔහුගේ වංශය පිට පමුණුවන්නෙමි”යි කී ය.</verse>
			</chapter>
			<chapter number="22">
				<verse number="1">සිරියාවේ වැසියන් හා ඉශ්රායෙල්වරුන් අතර තුන් අවුරුද්දක් සාමය පැවතිණි.</verse>
				<verse number="2">තුන් වන අවුරුද්දේ ජුදාහි රජ වන ජෙහෝෂාපාට් ඉශ්රායෙල් රජු ළඟට පැමිණියේ ය.</verse>
				<verse number="3">ඉශ්රායෙල් රජ තමාගේ සේවකයන්ට කතා කොට, “රාමොත්-ගිලියද් අපට අයිති බව ඔබ දන්නහු ද? දැනගෙනත්, අප එය සිරියාවේ රජු අතින් උදුරාගැනීමට කිසිවක් නොකර සිටිනු නොවේ දැ”යි කීවේ ය.</verse>
				<verse number="4">ඔහු ජෙහෝෂාපාට්ට කතා කොට, “යුද්ධයට මා සමඟ රාමොත්-ගිලියද්ට යන්නෙහි දැ”යි ඇසී ය. ජෙහෝෂාපාට් ද, “මාත් ඔබ මෙන් ම, මාගේ සෙනඟත් ඔබේ සෙනඟ මෙන් ම, මාගේ අශ්වයොත් ඔබේ අශ්වයන් මෙන් ම සූදානම් ය”යි ඉශ්රායෙල් රජුට කීවේ ය.</verse>
				<verse number="5">තවද, ජෙහෝෂාපාට් කතා කොට, “පළමුවෙන් සමිඳාණන් වහන්සේගේ වචනය විභාග කළ මැනව”යි ඉශ්රායෙල් රජුට කී ය.</verse>
				<verse number="6">එවිට ඉශ්රායෙල් රජ දිවැසිවරුන් වන හාරසියයක් පමණ මිනිසුන් රැස් කොට, “මම රාමොත්-ගිලියද්ට විරුද්ධ ව යුද්ධයට යම් ද නොයම් දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. ඔව්හු කතා කොට, “ගිය මැනව, මන්ද, සමිඳාණන් වහන්සේ එය රජු අතට පාවා දෙන සේකැ”යි කීවෝ‍ ය.</verse>
				<verse number="7">එහෙත්, ජෙහෝෂාපාට්, “අප විසින් විචාරනු ලබන පිණිස සමිඳාණන් වහන්සේගේ තව දිවැසිවරයෙක් මෙහි නැද්දැ”යි ඇසී ය.</verse>
				<verse number="8">ඉශ්රායෙල් රජ ද, “සමිඳාණන් වහන්සේගෙන් විචාරන පිණිස ඉම්ලාගේ පුත් මීකායා නම් තව කෙනෙක් සිටියි. එහෙත්, ඔහු මා ගැන දිවැස් වැකියෙන් නරකක් මිස යහපතක් නොකියන නිසා මම ඔහුට වෛර වෙමි”යි ජෙහෝෂාපාට්ට කීවේ ය. ජෙහෝෂාපාට් ද, “රජතුමා එසේ නොකියාවා”යි කීවේ ය.</verse>
				<verse number="9">එකල ඉශ්රායෙල් රජ ඇමතියෙකුට අඬගසා, “ඉම්ලාගේ පුත් මීකායා ඉක්මනින් ගෙන්වන්නැ”යි සැළ කෙළේ ය.</verse>
				<verse number="10">ඉශ්රායෙල් රජ ද ජුදාහි රජ වන ජෙහෝෂාපාට් ද රාජකීය වස්ත්‍ර පැළඳගෙන, සමාරියේ වාසල් දොරටුවෙන් පිටත එළිමහන් තැනක තම තමන්ගේ සිංහාසනවල වාඩි වී සිටියෝ ය. සියලු දිවැසිවරු ඔවුන් ඉදිරිපිට දිවැස් වැකි කී හ.</verse>
				<verse number="11">තවද, කෙනානාගේ පුත් ශෙදෙකියා යකඩ අං සාදාගෙන, “ඔබ සිරියාවේ වැසියන් නැති කරන තුරු මේවායින් ඔවුන්ට අනිනු ඇත කියා සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි පැවසී ය.</verse>
				<verse number="12">දිවැසිවරු සියල්ලෝ එලෙස ම දිවැස් වැකි කියමින්, “රාමොත්-ගිලියද්ට ගොස් ජය ගත මැනව. මන්ද, සමිඳාණන් වහන්සේ එය රජු අතට පාවා දෙන සේකැ”යි කී හ.</verse>
				<verse number="13">මීකායා කැඳවාගෙන එන්න ගිය පණිවුඩකාරයා ඔහුට කතා කොට, “බලන්න, දිවැසිවරුන්ගේ වචන එක ලෙස රජුට ප්‍රසන්න දේ පවසයි. ඔබේ වචනයත් ඔවුන්ගෙන් කෙනෙකුගේ වචනය මෙන් කල්තියා ජය අත්වනු පිණිස කියන්නැ”යි දැන්වී ය.</verse>
				<verse number="14">මීකායා ද කතා කොට, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මා දිවුරා කියන්නේ, උන් වහන්සේ මට කියන දේ ය”යි පැවසී ය.</verse>
				<verse number="15">ඔහු රජු ළඟට ආ කල රජු ඔහුට කතා කොට, “මීකායා, අපි රාමොත්-ගිලියද්ට විරුද්ධ ව යුද්ධයට යමු ද නොයමු දැ”යි ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “ගොස් ජය ගත මැනව, සමිඳාණන් වහන්සේ එය රජු අතට පාවා දෙන සේකැ”යි උත්තර දුන්නේ ය.</verse>
				<verse number="16">රජ ද කතා කොට, “සමිඳාණන් වහන්සේගේ නාමයෙන් සැබෑව මිස වෙන කිසිවක් මට නොකියන හැටියට මම කී වරක් ඔබ දිවුරවම් දැ”යි ඔහුගෙන් ඇසී ය.</verse>
				<verse number="17">එවිට ඔහු කතා කොට, “සියලු ඉශ්රායෙල්වරුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් කඳුවල විසිර සිටිනු මම දිටිමි. තවද, සමිඳාණෝ මෙසේ වදාරන සේක; ‘මොවුන්ට ස්වාමියෙක් නැත, එක එකා තම තමාගේ ගෙදරට සාමදානයෙන් හැරී යත් වා!’ “යි කීවේ ය.</verse>
				<verse number="18">ඉශ්රායෙල් රජ ද, “ඔහු මා ගැන දිවැසි වැකියෙන් නරකක් මිස යහපතක් කියන්නේ නැත කියා මම ඔබට නොකීයෙම් දැ”යි ජෙහෝෂාපාට්ට කී ය.</verse>
				<verse number="19">මීකායා කතා කොට, “එබැවින් ඔබ සමිඳාණන් වහන්සේගේ වචනය ඇසුව මැනව. සමිඳාණන් වහන්සේ තම සිංහාසනයේ වැඩ හිඳිනු ද, මුළු ස්වර්ග සේනාව උන් වහන්සේ ළඟ උන් වහන්සේගේ දකුණු පැත්තේ ද වම් පැත්තේ ද සිටිනු ද මම දිටිමි.</verse>
				<verse number="20">සමිඳාණන් වහන්සේ කතා කොට, ‘ආහබ්, රාමොත්-ගිලියද්ට ගොස් එහි දී මරණයට පත් වන පිණිස එහි යෑමට ඔහු පොළඹවන්නේ කවරෙක් දැ’යි ඇසූ සේක. එක් කෙනෙක් මේ ආකාරයට ද තව කෙනෙක් ඒ ආකාරයට ද උත්තර දුන්නෝ ය.</verse>
				<verse number="21">එකල ආත්මයක් නික්ම විත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිට, ‘මම ඔහු පොළඹවන්නෙමි’යි කීවේ ය.</verse>
				<verse number="22">සමිඳාණන් වහන්සේ, ‘කුමකින් දැ’යි ඔහුගෙන් ඇසූ විට, ඔහු, ‘මම ගොස් ඔහුගේ සියලු දිවැසිවරයන්ගේ මුඛවල මුසා දොඩන ආත්මයක් වන්නෙමි’යි කී ය. උන් වහන්සේ ද, ‘නුඹ ඔහු පොළඹවා ජයගනු ඇත. ගොස් එසේ කරන්නැ’යි වදාළ සේක.</verse>
				<verse number="23">“එබැවින් සමිඳාණන් වහන්සේ ඔබේ මේ සියලු දිවැසිවරයන්ගේ මුඛවල මුසා දොඩන ආත්මයක් තැබූ සැටි බලන්න. තවද, සමිඳාණන් වහන්සේ ඔබට නපුරක් වන බව වදාළ සේකැ”යි පැවසී ය.</verse>
				<verse number="24">එවිට කෙනානාගේ පුත් ශෙදෙකියා ළං වී මීකායාගේ කම්මුලට ගසා, “සමිඳාණන් වහන්සේගේ ආත්මය ඔබට කතා කරන්නට මා කෙරෙන් ගියේ කොයි මාර්ගයෙන් දැ”යි ඇසී ය.</verse>
				<verse number="25">මීකායා ද, “ඔබ සැඟවෙන පිණිස ඇතුළු ගෙයකට යන දවසේ එය දැනගන්නෙහි ය”යි කීවේ ය.</verse>
				<verse number="26">ඉශ්රායෙල් රජ, “ඔබ මීකායා රැගෙන නුවර අධිපතියා වන ආමොන් ද රජුගේ පුත් ජෝවාෂ් ද ළඟට ගෙන ගොස් කතා කොට,</verse>
				<verse number="27">‘ඔබ මොහු හිරගෙහි ලා මා සාමදානයෙන් එන තුරු මොහුට රොටි සහ වතුර හැර කිසිවක් නොදිය යුතු යයි රජ කියන්නේ ය’ කියා දන්වන්නැ”යි කී ය.</verse>
				<verse number="28">මීකායා ද, “ඔබ ඇත්තටම සාමදානයෙන් හැරී ආවොත් සමිඳාණන් වහන්සේ මා ලවා කතා කෙරෙව්වේ නැත. ජනයිනි, ඔබ සියල්ලන් ම අසන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="29">මෙසේ ඉශ්රායෙල් රජ ද ජුදාහි රජ වන ජෙහෝෂාපාට් ද රාමොත්-ගිලියද්ට ගියෝ ය.</verse>
				<verse number="30">ඉශ්රායෙල් රජ ජෙහෝෂාපාට්ට කතා කොට, “මම වෙස් වළාගෙන යුද්ධයට පැමිණෙමි. එහෙත්, ඔබ ඔබේ ම වස්ත්‍ර පැළඳගත මැනවැ”යි කීවේ ය. එසේ ඉශ්රායෙල් රජ වෙස් වළාගෙන යුද්ධයට ගියේ ය.</verse>
				<verse number="31">සිරියාවේ රජු තමාගේ රථාධිපතීන් තිස්දෙදෙනාට කතා කොට, “ඔබ ඉශ්රායෙල් රජුට විරුද්ධ ව මිස ලොකු කුඩා වෙන කිසිවෙකුට විරුද්ධ ව සටන් නොකරන්නැ”යි අණ කර තිබිණි.</verse>
				<verse number="32">තවද, රථාධිපතීහු ජෙහෝෂාපාට් දුටු කල, “මොහු ඉශ්රායෙල් රජ ම ය”කියා ඔහුට විරුද්ධ ව සටන් කරන්නට හැරුණෝ ය. එවිට ජෙහෝෂාපාට් මොරගැසී ය.</verse>
				<verse number="33">ඒ ඉශ්රායෙල් රජු නොවන බව දැක රථාධිපතීහු ඔහු වෙතින් හැරි ගියෝ ය.</verse>
				<verse number="34">එහෙත්, එක් මනුෂ්‍යයෙක් අහම්බෙන්‍ දුන්න තැත්කවා ඉශ්රායෙල් රජුගේ සන්නාහයේ සන්ධි අතරෙන් ඔහුට විද්දේ ය. එවිට ඔහු රියැදුරාට කතා කොට, “ඔබ ආපසු හැරී මා යුද්ධයෙන් පිටතට ගෙනයන්න, මට බොහෝ‍ තුවාළ ය”යි කී ය.</verse>
				<verse number="35">ඒ දවසේ යුද්ධය තදබල විය. රජතුමා සිරියන්වරුන්ට ඉදිරිපිටින්, ආධාර ඇති ව රථයේ කෙළින් සිටුවනු ලැබ සවස මළේ ය. තුවාළයෙන් රථයේ පතුලට ලේ ගලාගෙන ගියේ ය.</verse>
				<verse number="36">එක එක මනුෂ්‍යයා තම තමාගේ නුවරටත්, රටටත් යේ වා යි කියා ඉර බහින වේලාවේ කඳවුර පුරා ප්‍රසිද්ධියක් කරන ලදී.</verse>
				<verse number="37">මෙසේ රජ මරණයට පත් වූ පසු ඔහු සමාරියට ගෙන ගොස්, සමාරියේ තැන්පත් කරන ලදී.</verse>
				<verse number="38">තවද, ඔව්හු සමාරියේ පොකුණෙන් රථය සේදූ හ. සමිඳාණන් වහන්සේ වදාළ වචනය හැටියට බල්ලෝ ඔහුගේ ලේ ලෙවකෑහ. වේශ්‍යාවෝ‍ එහි ස්නානය කළහ.</verse>
				<verse number="39">ආහබ්ගේ සෙසු ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඔහු සෑදූ ඇත් දත් ගෙය ද ගොඩනැඟුවාවූ සියලු නගරවල් ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?</verse>
				<verse number="40">මෙසේ ආහබ් මියගියේ ය. ඔහුගේ පුත් අහසියා ඔහු වෙනුවට රජ විය.</verse>
				<verse number="41">ඉශ්රායෙල් රජ වන ආහබ්ගේ සතර වන අවුරුද්දේ දී ආසාගේ පුත් ජෙහෝෂාපාට් තෙමේ ජුදාහි රජ විය.</verse>
				<verse number="42">ජෙහෝෂාපාට් රජ වන කල අවුරුදු තිස්පහක් වයස් ව සිටියේ ය. ඔහු ජෙරුසලමේ විසිපස් අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම අශුබා ය. ඈ ෂිල්හිගේ දුව ය.</verse>
				<verse number="43">ඔහු තම පිය වූ ආසාගේ අඩි පාරේ ගමන් කරමින්, එයින් අහක් නොවී සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය. එහෙත් කඳු මත පූජාස්ථාන පහ නොකරන ලදී. එවකටත් සෙනඟ පූජා ද සුවඳ දුම් ද කඳු මත පූජාස්ථානවල ඔප්පු කළහ.</verse>
				<verse number="44">ජෙහෝෂාපාට් ඉශ්රායෙල් රජු සමඟ සාමදාන විය.</verse>
				<verse number="45">ජෙහෝෂාපාට්ගේ සෙසු ක්‍රියා ද ඔහු පෙන්වූ දස්කම් ද කළ යුද්ධ ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?</verse>
				<verse number="46">තමාගේ පිය වූ ආසාගේ කාලයෙහි ඉතුරු වූ දේවාල සල්ලාලයන් ඔහු රටින් නෙරපාදැමී ය.</verse>
				<verse number="47">එකල ඒදොම්හි රජෙක් නො වී ය. යුව රජෙක් රජකම් කෙළේ ය.</verse>
				<verse number="48">ජෙහෝෂාපාට් රත්රන් ගෙනෙන පිණිස ඕපීර් නගරයට යෑමට තර්ෂීෂ් නැව් සෑදී ය. එහෙත්, ඒවා එහි ගියේ නැත. මන්ද, ඒ නැව් එශියොන් ගෙබර් නම් ස්ථානයෙහි දී විනාශ වූ බැවිනි.</verse>
				<verse number="49">එකල ආහබ්ගේ පුත් අහසියා, “මාගේ සේවකයෝ ඔබේ සේවකයන් සමඟ නැව්වල යාත්‍රා කරත් වා”යි ජෙහෝෂාපාට්ට කීවේ ය. එහෙත්, ජෙහෝෂාපාට් එකඟ වූයේ නැත.</verse>
				<verse number="50">ජෙහෝෂාපාට් තමාගේ පියවරුන් මෙන් මියගොස් තම පිය වූ දාවිත්ගේ නුවර තම පියවරුන් ළඟ තැන්පත් කරන ලදී. ඔහුගේ පුත් ජෙහෝරාම් ඔහු වෙනුවට රජ විය.</verse>
				<verse number="51">ජුදාහි රජ වූ ජෙහෝෂාපාට්ගේ දසසත් වන අවුරුද්දේ දී ආහබ්ගේ පුත් අහසියා ඉශ්රායෙල් කෙරෙහි සමාරියේ රජ වී දෑවුරුද්දක් ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය.</verse>
				<verse number="52">ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කොට, තමාගේ පියාගේ ද තමාගේ මවගේ ද අඩි පාරේ ද ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැස්සූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ අඩි පාරේ ද ගමන් කෙළේ ය.</verse>
				<verse number="53">ඔහු බාල් දේවතාවාට සේවය කර ඔහුට වැඳුම්පිදුම් කරමින් තමාගේ පියා කළ ප්‍රකාරයට ම ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෝප කෙළේ ය.</verse>
			</chapter>
		</book>
		<book number="12">
			<chapter number="1">
				<verse number="1">ආහබ් රජු මියගිය පසු මෝවබ්වරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව කැරලි ගැසූ හ.</verse>
				<verse number="2">තවද, අහසියා සමාරියෙහි තමාගේ උඩු මහලේ සඳලුතලයෙන් වැටී රෝගාතුර විය. “ඔබ ගොස් මම මේ රෝගයෙන් සුව වන්නෙම් දැ යි එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නැ”යි ඔහු පණිවුඩකාරයන් යැවී ය.</verse>
				<verse number="3">එහෙත්, සමිඳාණන් වහන්සේගේ දූතයා තිෂ්බි ජාතික දිවැසිවර එලියාට කතා කොට, “නැඟිට සමාරියේ රජුගේ පණිවුඩකාරයන්ගේ පෙරමඟට ගොස්, ‘ඔබ එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නට යන්නේ, ඉශ්රායෙල්හි දෙවි කෙනෙකුන් නැති නිසා ද?</verse>
				<verse number="4">එබැවින්, නුඹ නැඟී සිටින ඇඳෙන් නොබැස සැබැවින් ම මැරෙන්නෙහි ය’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක කියා ඔවුන්ට දන්වන්නැ”යි කී ය. එලියා පිටත් ව ගියේ ය.</verse>
				<verse number="5">එවිට පණිවුඩකාරයෝ රජු ළඟට හැරී ආ හ. “ඔබ හැරී ආවේ කුමක් නිසා දැ”යි ඔහු ඔවුන්ගෙන් ඇසී ය.</verse>
				<verse number="6">ඔව්හු කතා කොට, “මනුෂ්‍යයෙක් අපේ පෙරමඟට අවුත්, ‘ඔබ හැම එවූ රජු ළඟට හැරී ගොස්, ඔබ එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නට යවන්නේ ඉශ්රායෙල්හි දෙවි කෙනෙකුන් නැති නිසා ද? එබැවින්, ඔබ සිටින ඇඳෙන් නොබැස සැබැවින් ම මැරෙන්නෙහි යයි සමිඳාණන් වහන්සේ වදාරන සේක කියා ඔහුට කියන්නැ’යි අපට සැළ කෙළේ ය”යි කී හ.</verse>
				<verse number="7">“ඔබේ පෙරමඟට අවුත් මේ වචන ඔබට කී මනුෂ්‍යයා කෙබඳු කෙනෙක් දැ”යි ඔහු ඔවුන්ගෙන් ඇසී ය.</verse>
				<verse number="8">ඔව්හු ඔහුට උත්තර දෙමින්, “ඔහු ලෝම වස්ත්‍රයක් හැඳ, ඉඟටියෙහි සම් පටියක් බැඳගත් මනුෂ්‍යයෙක් ය”යි කී හ. ඔහු, “ඒ තිෂ්බි ජාතික එලියා ය”යි කී ය.</verse>
				<verse number="9">එවිට රජ පණසාධිපතියෙකු ඔහුගේ පණස්දෙනා සමඟ එලියා වෙත යැවී ය. ඔහු කන්ද මුදුනේ හිඳගෙන සිටි එලියා ළඟට ගොස්, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, බැස එන්න කියා රජ කියන්නේ ය”යි ඔහුට දැන්වී ය.</verse>
				<verse number="10">එලියා පණසාධිපතියාට උත්තර දෙමින්, “මම දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් නම්, අහසින් ගිනි බැස ඔබ ද ඔබේ පණස්දෙනා ද දවාදමා වා”යි කී ය. එවිට අහසින් ගිනි බැස ඔහු ද ඔහුගේ පණස්දෙනා ද දවාදැමී ය.</verse>
				<verse number="11">රජ නැවත තවත් පණසාධිපතියෙකු ඔහුගේ පණස්දෙනා සමඟ ඔහු ළඟට යැවී ය. ඔහු කතා කොට, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, ඉක්මනින් බැස එන්න කියා රජ කියන්නේ ය”යි ඔහුට කී ය.</verse>
				<verse number="12">එලියා උත්තර දෙමින්, “මම දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් නම්, අහසින් ගිනි බැස ඔබ ද ඔබේ පණස්දෙනා ද දවාදමා වා”යි ඔවුන්ට කී ය. එවිට අහසින් ගිනි බැස ඔහු ද ඔහුගේ පණස්දෙනා ද දවාදැමී ය.</verse>
				<verse number="13">රජ නැවතත් තුන් වන වර පණසාධිපතියෙකු ඔහුගේ පණස්දෙනා සමඟ යැවී ය. පණස්දෙනාට අධිපති වූ තුන්වැනියා ද නැඟී ගොස් එලියා ඉදිරියෙහි දණින් වැටී යාච්ඤා කරමින්, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, මාගේ ප්‍රාණයට ද ඔබේ මෙහෙකරුවන් වන මේ පණස්දෙනාගේ ප්‍රාණවලට ද හානියක් නොකළ මැනව.</verse>
				<verse number="14">බැලුව මැනව, අහසින් ගිනි බැස පළමු පණසාධිපතීන් දෙදෙනා ද ඔවුන්ගේ පිරිස් ද දවාදැමුවේ ය. එහෙත්, දැන් මාගේ ප්‍රාණයට හානියක් නොකළ මැනව”යි ඔහුට කීවේ ය.</verse>
				<verse number="15">එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා කතා කොට, “බිය නොවී ඔහු සමඟ යන්නැ”යි එලියාට කී ය. ඔහු නැඟිට ඔහු සමඟ රජු ළඟට බැස ගියේ ය.</verse>
				<verse number="16">ඔහු කතා කොට, “නුඹ එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නට පණිවුඩකාරයන් යැව්වේ, දේව වාක්‍යයෙන් විචාරන්නට ඉශ්රායෙල්වරුන්ගේ දෙවි කෙනෙකුන් නැති නිසා ද? එබැවින් නුඹ සිටින ඇඳෙන් නොබැස සැබැවින් ම මැරෙන්නෙහි යයි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි ඔහුට කී ය.</verse>
				<verse number="17">මෙසේ එලියා පැවසූ සමිඳාණන් වහන්සේගේ වචනය ලෙස ඔහු මළේ ය. ඔහුට පුත්‍රයෙකු නොසිටි බැවින් ඔහු වෙනුවට ජොරාම්, ජුදාහි රජ වූ ජෙහෝෂාපාට්ගේ පුත් වන ජෙහෝරාම්ගේ දෙ වන අවුරුද්දේ දී රජ විය.</verse>
				<verse number="18">අහසියා කළ අනෙක් ක්‍රියා ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">තවද, සමිඳාණන් වහන්සේ එලියා සුළි සුළඟකින් ස්වර්ගයට ගන්නට කැමැති වූ අවස්ථාවේ දී එලියා, එලිෂා සමඟ ගිල්ගාල් නගරයෙන් පිටත් ව ගියේ ය.</verse>
				<verse number="2">එලියා කතා කොට, “සමිඳාණන් වහන්සේ මා පමණක් බෙතෙල් නගරයට යවන නිසා මෙහි නවතින්නැ”යි එලිෂාට කී ය. එලිෂා උත්තර දෙමින්, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ජීවමාන ඔබේ නාමයෙන් ද මම ඔබ අත් නොහරිමි”යි දිවිරී ය. මෙසේ ඔව්හු බෙතෙල් නගරයට බැස ගියෝ ය.</verse>
				<verse number="3">බෙතෙල්හි සිටි දිවැසිවරුන්ගේ කණ්ඩායමේ අය එලිෂා ළඟට අවුත්, “සමිඳාණන් වහන්සේ අද ඔබේ ස්වාමියා ඔබ කෙරෙන් ගන්න බව දන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ හ. ඔහු උත්තර දෙමින්, “එසේ ය, මම දනිමි; නිශ්ශබ්ද වන්නැ”යි කී ය.</verse>
				<verse number="4">එලියා, ඔහුට කතා කොට, “එලිෂා, මෙහි නවතින්න; මන්ද, සමිඳාණන් වහන්සේ මා ජෙරිකෝවට යවන සේකැ”යි කීවේ ය. ඔහු ද, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ජීවමාන ඔබේ නාමයෙන් ද මම ඔබ අත් නොහරිමි”යි දිවිරී ය. මෙසේ ඔව්හු ජෙරිකෝවට ආ හ.</verse>
				<verse number="5">ජෙරිකෝවෙහි සිටි දිවැසිවරුන්ගේ කණ්ඩායමේ අය එලිෂා ළඟට අවුත්, “සමිඳාණන් වහන්සේ අද ඔබේ ස්වාමියා ඔබ කෙරෙන් ගන්න බව දන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ හ. ඔහු ද, “එසේ ය, මම දනිමි, නිශ්ශබ්ද වන්නැ”යි උත්තර දිනි.</verse>
				<verse number="6">එලියා ද කතා කොට, “සමිඳාණන් වහන්සේ මා ජොර්දානට යවන නිසා මෙහි නවතින්නැ”යි ඔහුට කී ය. ඔහු උත්තර දෙමින්, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ජීවමාන ඔබේ නාමයෙන් ද මම ඔබ අත් නොහරිමි”යි දිවිරී ය. එවිට ඒ දෙදෙනා ම යන්න ගියහ.</verse>
				<verse number="7">දිවැසිවරුන්ගේ කණ්ඩායමේ පණස්දෙනෙක් ගොස්, ඔවුන් ඉදිරිපිට දුරින් සිටියෝ ය. ඒ දෙදෙනා ද ජොර්දානය ළඟ සිටියෝ ය.</verse>
				<verse number="8">එවිට එලියා තමාගේ උතුරු සළුව රැගෙන, අකුළා වතුරට ගැසී ය. වතුර දෑතට බෙදී ගියේ ය. ඒ දෙදෙනා වියළි බිම පිට එගොඩ වූ හ.</verse>
				<verse number="9">තවද, ඔවුන් එගොඩ වූ කල එලියා කතා කොට, “ඔබ වෙතින් මා ගන්න පළමුවෙන් ඔබට මාගෙන් ඕනෑ දෙයක් ඉල්ලන්නැ”යි එලිෂාට කී ය, එලිෂා පිළිතුරු දෙමින්, “ඔබට තිබෙන ආත්මානුභාවය මෙන් දෙගුණයක් මා කෙරෙහි පැමිණේ වා”යි කී ය.</verse>
				<verse number="10">ඔහු ද, “ඔබ අමාරු දෙයක් ඉල්ලුවෙහි ය. එහෙත්, ඔබ වෙතින් මා ගන්න විට ඔබ මා දුටුවොත් ඔබට එසේ වන්නේ ය; නැතහොත්, එසේ නොවන්නේ යැ”යි කී ය.</verse>
				<verse number="11">තවද, ඔවුන් කතා කරමින් යද්දී, ගිනි අශ්ව රථයක් ද ගිනි අශ්වයෝ ද පෙනී ඔවුන් දෙදෙනා වෙන් කළෝ ය. එලියා සුළි සුළඟකින් ස්වර්ගයට නැඟී ගියේ ය.</verse>
				<verse number="12">එලිෂා ඒ දැක, “ඉශ්රායෙල්හි රථ සහ අසරුවන් වැනි බලසම්පන්න මාගේ පියාණෙනි, මාගේ පියාණෙනි”යි කී ය. ඔහු තවත් එලියා නුදුටුවේ ය.</verse>
				<verse number="13">එවිට ඔහු තමාගේ වස්ත්‍ර අල්ලා දෙකට ඉරා, එලියාගෙන් වැටුණු ඔහුගේ සළුව රැගෙන හැරී ආවේ ය.</verse>
				<verse number="14">ඉන්පසු එලිෂා ජොර්දානය අද්දර සිට, එලියාගෙන් වැටුණු ඔහුගේ සළුව රැගෙන, “එලියාගේ දෙවි සමිඳාණන් වහන්සේ කොතැන ද,” කියා වතුරට ගැසී ය. ඔහුත් වතුරට ගැසූ විට එය දෑතට බෙදී ගියේ ය. එලිෂා එගොඩ විය.</verse>
				<verse number="15">ඔහුට ඉදිරියෙන් ජෙරිකෝවේ සිටි දිවැසිවර කණ්ඩායම ඔහු දැක, “එලියාට තිබුණු ආත්මානුභාව එලිෂා කෙරෙහි පිහිටා තිබේ ය”යි කියමින් ඔහුගේ පෙරමඟට ගොස්, බිමට නැමී ඔහුට වැන්දෝ‍ ය.</verse>
				<verse number="16">ඔව්හු එලිෂාට කතා කොට, “මෙහි ඔබේ මෙහෙකරුවන් අතරේ ශක්තිමත් මනුෂ්‍යයෝ පණස්දෙනෙක් සිටිති. ඔව්හු ගොස් ඔබේ ස්වාමියා සොයත් වා. සමහර විට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු ගෙන ගොස් යම්කිසි කන්දක් පිට වත්, යම්කිසි මිටියාවතක වත් දමන්නට ඇතැ”යි ඔහුට කී හ.</verse>
				<verse number="17">ඔහු ද, “කිසි කෙනෙකු නොයවන්නැ”යි කී ය. එහෙත්, ඔහු ලජ්ජාවට පත්වන තුරු ම ඔවුන් ඔහුට කරදර කළ බැවින්, “යවන්නැ”යි ඔහු කී ය. එවිට ඔව්හු මනුෂ්‍යයන් පණස්දෙනෙකු යැවූ හ. ඔව්හු තුන් දවසක් සෙවූ නමුත් ඔහු හමු නො වී ය.</verse>
				<verse number="18">ඉන්පසු ඔව්හු ජෙරිකෝවේ නැවතී සිටි එලිෂා ළඟට හැරී ආ හ. ඔහු ද, “නොයන්නැ යි මා ඔබට කීවා නොවේ දැ”යි ඔවුන්ගෙන් ඇසී ය.</verse>
				<verse number="19">ඒ නුවර වැසියෝ එලිෂාට කතා කොට, “මෙන්න, මාගේ ස්වාමියාට පෙනෙන හැටියට මේ නුවර පිහිටා තිබෙන ස්ථානය ප්‍රසන්න ය. එහෙත්, වතුර අපවිත්‍ර ය. එයින් ගබ්සා ඇති වන්නේ ය”යි කී හ.</verse>
				<verse number="20">ඔහු ද කතා කොට, “අලුත් සැළියක් මා ළඟට ගෙනවුත් එහි ලුණු දමන්නැ”යි කී ය. ඔව්හු ද එය ඔහු ළඟට ගෙනාවෝ ය.</verse>
				<verse number="21">ඔහු වතුර උල්පත ළඟට ගොස් එහි ලුණු දමා, “ ‘මේ වතුර පිරිසිදු කෙළෙමි’යි කියාත්, ‘මින්පසු එයින් මරණය වත්, ගබ්සාවීම වත් නොවන්නේ ය’ කියාත් සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කීවේ ය.</verse>
				<verse number="22">මෙසේ එලිෂා කී වචනය ලෙස ඒ වතුර අද දක්වා පිරිසිදු ව පවතී.</verse>
				<verse number="23">ඔහු එතැනින් බෙතෙල් නගරයට ගියේ ය. ඔහු පාරේ යද්දී පුංචි ළමයි නුවරින් පිටත් ව අවුත් ඔහුට කවටකම් කරමින්, “පලා යව, තට්ටයා, පලා යව තට්ටයා” යයි කීවෝ ය.</verse>
				<verse number="24">ඔහු පස්සට හැරී ඔවුන් දැක සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔවුන්ට සාප කෙළේ ය, එවිට වැළහින්නන් දෙදෙනෙක් කැලෑවෙන් අවුත් ඒ ළමයින්ගෙන් සතළිස්දෙදෙනෙකු ඉරා දැමූ හ.</verse>
				<verse number="25">ඔහු එතැනින් කර්මෙල් කන්දට ගොස් එතැනින් සමාරියට හැරී ආවේ ය.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">ආහබ්ගේ පුත් ජොරාම් ජුදාහි රජු වන ජෙහෝෂාපාට්ගේ දහඅට වන අවුරුද්දේ දී සමාරියෙහි ඉශ්රායෙල්වරුන්ගේ රජ වී දොළොස් අවුරුද්දක් රජකම් කෙළේ ය.</verse>
				<verse number="2">ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. එහෙත්, ඔහු තමාගේ පියා ද මවු ද මෙන් නපුරු නො වී ය. මන්ද, ඔහු තමාගේ පියා සෑදූ බාල්ගේ රූපස්තම්භ පහකෙළේ ය.</verse>
				<verse number="3">එසේ වුවත්, ඔහු ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැසූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාපවලින් අහක් නොවී ඒවා දිගට ම කරගෙන ගියේ ය.</verse>
				<verse number="4">මෝවබ්හි රජු වූ මෙෂා බැටළු හිමියෙකු ව සිටියේ ය. ඔහු ඉශ්රායෙල් රජුට එක්ලක්ෂයක් බැටළු පැටවුන්ගේ ද එක්ලක්ෂයක් බැටළුවන්ගේ ද ලෝම කප්පම් දෙන සිරිතක් තිබිණි.</verse>
				<verse number="5">එහෙත්, ආහබ් මියගිය කල මෝවබ්හි රජ ඉශ්රායෙල් රජුට විරුද්ධ ව කැරලි ගැසී ය.</verse>
				<verse number="6">ජොරාම් රජ ද ඒ කාලයේ සමාරියෙන් පිටත් ව ගොස් සියලු ඉශ්රායෙල්වරුන් රැස් කෙළේ ය.</verse>
				<verse number="7">තවද, ඔහු ගොස් ජුදාහි රජු වන ජෙහෝෂාපාට් වෙත පණිවුඩයක් යවමින්, “මෝවබ්හි රජ මට විරුද්ධ ව කැරලි ගැසී ය. ඔබ මා සමඟ මෝවබ්වරුන්ට විරුද්ධ ව යුද්ධයට යන්නෙහි දැ”යි අසා ඇරියේ ය. ඔහු ද, “යන්නෙමි. මම ඔබ මෙන් සූදානම් ය. මාගේ සෙනඟත් ඔබේ සෙනඟ මෙන් ද, මාගේ අශ්වයෝත් ඔබේ අශ්වයන් මෙන් ද සූදානම් ය”යි කී ය.</verse>
				<verse number="8">ඔහු කතා කොට, “අපි කුමන පාරකින් යමු දැ”යි ඇසී ය. “ඒදොම් පාළුකරයේ පාරෙන් ය”යි ඔහු උත්තර දුන්නේ ය.</verse>
				<verse number="9">මෙසේ ඉශ්රායෙල්හි රජ ද ඒදොම්හි රජ ද ජුදාහි රජ ද පිටත් ව ගියහ. ඔවුන් සත් දවසක් වැරදි මඟකින් යද්දී සේනාවටත්, ඔවුන් සමඟ ගිය සිව්පාවුන්ටත් වතුර නැති විය.</verse>
				<verse number="10">එවිට ඉශ්රායෙල් රජ, “අහෝ! සමිඳාණන් වහන්සේ මේ රජුන් තුන්දෙනා වන අප, මෝවබ් රජුගේ අතට පාවා දෙන්නට ගෙන්වූ සේකැ”යි කී ය.</verse>
				<verse number="11">ජුදා රජු වන ජෙහෝෂාපාට් කතා කොට, “අප විසින් සමිඳාණන් වහන්සේගෙන් විචාරනු ලබන පිණිස උන් වහන්සේගේ දිවැසිවරයෙක් මෙහි නැද්දැ”යි ඇසී ය. එවිට ඉශ්රායෙල් රජුගේ සේවකයෙක් උත්තර දෙමින්, “එලියාගේ අත්වලට වතුර වත් කළ, ශාපාත්ගේ පුත් එලිෂා මෙහි සිටී ය”යි කී ය.</verse>
				<verse number="12">ජෙහෝෂාපාට් කතා කොට, “ඔහු සමිඳාණන් වහන්සේගේ පණිවුඩය පවත්වන්නේ ය”යි කී ය. මෙසේ ඉශ්රායෙල් රජ ද ජෙහෝෂාපාට් ද ඒදොම්හි රජ ද ඔහු ළඟට ගියහ.</verse>
				<verse number="13">එලිෂා ඉශ්රායෙල් රජුට කතා කොට, “මා සමඟ ඔබට ඇති ගනුදෙනුව කුමක් ද? ඔබේ පියාගේ දිවැසිවරුන් ළඟටත්, ඔබේ මවුගේ දිවැසිවරුන් ළඟටත් ගිය මැනැවැ”යි කී ය. ඉශ්රායෙල් රජ ද, “එසේ නොවේ වා. මන්ද, සමිඳාණන් වහන්සේ මෝවබ්වරුන් අතට පාවා දෙන පිණිස මේ රජුන් තුන්දෙනා වන අප ගෙන්වූ සේකැ”යි ඔහුට කී ය.</verse>
				<verse number="14">එලිෂා කතා කොට, “මා සේවය කරන සර්ව පරාක්‍රම ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් සැබැවින් ම ජුදාහි ජෙහෝෂාපාට් රජු මෙහි සිටින කාරණය නිසා මිස නැත්නම්, මා ඔබ දෙස බලන්නේ වත්, ඔබ ගණන් ගන්නේ වත් නැතැ”යි දිවුරා,</verse>
				<verse number="15">“දැන් ඉතින් වීණා වාදකයෙකු මා ළඟට ගෙනෙ‍න්නැ”යි කී ය. වීණා වාදකයා වාදනය කරද්දී සමිඳාණන් වහන්සේගේ බලය එලිෂා පිට පැමිණියේ ය.</verse>
				<verse number="16">ඔහු කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මේ වියළි ගඟේ පතුල පුරා ම අගල් කපන්න.</verse>
				<verse number="17">මන්ද, නුඹලා හුළඟ වත්, වැස්ස වත් නොදකින නමුත් නුඹලාටත්, නුඹලාගේ සිවුපාවුන්ටත්, නුඹලාගේ මෘගයන්ටත් බීමට මේ ගඟ පතුල වතුරෙන් පිරෙනු ඇත.’</verse>
				<verse number="18">මෙය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සුළු දෙයකි. උන් වහන්සේ මෝවබ්වරුන් ද ඔබ අතට පාවා දෙන සේක.</verse>
				<verse number="19">ඔබ පවුරු ඇති සියලු නගර ද සියලු අලංකාර නගර ද වනසා, සියලු හොඳ‍ ගස් කපාදමා, සියලු දිය උල්පත් වසා සියලු සාරවත් කෙත් වතු ගල් දමා වනසන්නහු ය”යි කීවේ ය.</verse>
				<verse number="20">පසු දා උදය පූජාව ඔප්පු කරන වේලාව පමණේ දී ඒදොම් දිශාවෙන් වතුර අවුත් එයින් රට පිරී ගියේ ය.</verse>
				<verse number="21">තමන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට රජුන් පැමිණි බව ඇසූ විට, සියලු මෝවබ්වරු, යුද්ධායුධ පළඳින්නට පුළුවන් වයසේ සිට ඊට වැඩි වයස් වූ සියල්ලෝ රැස් වී දේශ සීමාව ළඟ සිටියෝ ය.</verse>
				<verse number="22">ඔවුන් අලුයම නැඟිටි කල ඒ වතුර පිට හිරු රැස් වැටිණි. මෝවබ්වරු තමන් ඉදිරිපිට තිබූ වතුර ලේමෙන් රතු ව තිබෙනු දැක,</verse>
				<verse number="23">“මේ නම් ලේ ය; සැබැවින් ම රජවරු විනාශ වූ හ. ඔවුන් එකිනෙකා මරාගන්නට ඇත. ඉතින්, මෝවබ්වරුනි, කොල්ලය ගැනීමට එන්නැ”යි කී හ.</verse>
				<verse number="24">ඔවුන් ඉශ්රායෙල් කඳවුරට පැමිණි විට ඉශ්රායෙල්වරු නැඟිට මෝවබ්වරුන් තමන් ඉදිරියෙන් පලා යන තුරු ඔවුන්ට පහර දී ඔවුන්ගේ රටටත් ගොස් මෝවබ්වරුන්ට පහර දුන්හ.</verse>
				<verse number="25">ඔව්හු නගර වනසා, රටේ හොඳ‍ සියලු කෙත්වතුවලට එකිනෙකා ගලක් බැගින් දමා ඒවා පුරවා, සියලු දිය උල්පත් වසා, සියලු හොඳ‍ ගස් කපාදැමූ හ. ඉතිරි වූයේ, කීර්හරෙසෙත් නුවර පමණකි. ගල්පටිවලින් විදින්නෝ එය වටලා ඊට පහර දුන්හ.</verse>
				<verse number="26">මෝවබ් රජ සටන ඉතා වේගයෙන් තමාට විරුද්ධ ව යන බව දැක, සේනාව මැදින් බිඳගෙන ඒදොම් රජු කරා යන පිණිස කඩු ගත් මනුෂ්‍යයන් හත්සියයක් රැගෙන ආවේ ය. එහෙත්, ඔවුන්ට යන්නට නුපුළුවන් විය.</verse>
				<verse number="27">එකල ඔහු තමා වෙනුවට රජ වන්නට සිටි තමාගේ කුලුඳුල් පුත්‍රයා රැගෙන දවන යාග පූජාවක් කොට පවුර පිට පුද කෙළේ ය. ඉමහත් උදහසක් ඉශ්රායෙල්වරුන් පිට පැමිණිණි. එවිට ඉශ්රායෙල්වරු ඔහු වෙතින් අහක් වී තමන්ගේ දේශයට හැරී ගියෝ ය.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">දිවැසිවර කණ්ඩායමේ අයගේ භාර්යාවන්ගෙන් එක්තරා ස්ත්‍රියක් එලිෂාට මොරගසා, “ඔබේ මෙහෙකරු වූ මාගේ පුරුෂයා මළේ ය. ඔබේ මෙහෙකරුවා සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව සිටි බව දන්නෙහි ය. ණය හිමියා මාගේ දරුවන් දෙදෙනා තමාට දාසයන් කොට ගන්න අවුත් සිටී ය”යි කීවා ය.</verse>
				<verse number="2">එලිෂා කතා කොට, “මම ඔබට කුමක් කරම් ද? ගෙදර ඔබට තිබෙන්නේ මොනවා දැ යි මට කියන්නැ”යි ඈට කී ය. “තෙල් කුළාවක් මිස ගෙදර වෙන කිසිවක් ඔබේ දාසියට නැතැ”යි ඈ කීවා ය.</verse>
				<verse number="3">එවිට ඔහු කතා කොට, “ඔබ පිටතට ගොස් ඔබේ සියලු අසල්වැසියන්ගෙන් භාජන එනම්, හිස් භාජන බොහොමයක් ඉල්ලාගන්න.</verse>
				<verse number="4">ඔබත්, ඔබේ පුත්‍රයනුත් ගෙදරට ඇතුළු වී දොර වසාගෙන, ඒ සියලු භාජනවල තෙල් වත් කොට, පිරුණු ඒවා පැත්තක තබන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="5">ඈ ද ඔහු වෙතින් ගොස්, ඈත්, ඇගේ පුත්‍රයෝත් ගෙදරට ඇතුළු වී දොර වසාගත්හ. ඔව්හු ඈ ළඟට භාජන ගෙනාවෝ ය. ඈ තෙල් වත් කළා ය.</verse>
				<verse number="6">භාජන පිරුණු කල ඈ, “තවත් භාජනයක් මට ගෙනෙ‍න්නැ”යි ඇගේ පුත්‍රයාට කීවා ය. “තවත් භාජනයක් නැතැ”යි ඔහු ඈට කී ය.</verse>
				<verse number="7">තෙල් ගලා යෑම ද නැවතිණි. එවිට ඈ අවුත් දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාට එපවත් දැන්වූවා ය. ඔහු ද, “ඔබ ගොස් තෙල් විකුණා ණය ගෙවා ඉතිරි මුදලෙන් ඔබත්, ඔබේ පුත්‍රයනුත් රක්ෂා වන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="8">එක් දවසක් එලිෂා ෂුනෙම් නම් දේශයට ගියේ ය. එහි සිටි ධනවත් ස්ත්‍රියක් කෑම කන්න ඔහුට පෙරැත්ත කළා ය. මෙසේ ඔහු යන එන සෑම විට ම කෑම කන පිණිස එහි නැවතිණි.</verse>
				<verse number="9">ඈ ඇගේ පුරුෂයාට කතා කොට, “නිතර ම අප ළඟින් යන එන මොහු දෙවියන් වහන්සේට කැප වූ බැතිමත් මනුෂ්‍යයෙකු බව මට පෙනෙයි.</verse>
				<verse number="10">අපි බිත්ති ඇති කුඩා උඩුමහලක් සාදා, ඇඳකුත්, මේසයකුත්, පුටුවකුත්, පහනකුත් එහි තබමු. එවිට ඔහු අප ළඟට ආ කල එහි සිටින්න පුළුවනැ”යි කීවා ය.</verse>
				<verse number="11">එක් දවසක් ඔහු එහි පැමිණ උඩුමහලට ගොස් නිදාගත්තේ ය.</verse>
				<verse number="12">තවද, ඔහු, “ෂුනම්මිය ජාතික ස්ත්‍රියට අඬගසන්නැ”යි තම වැඩකාරයා වන ගෙහාසිට කී ය. ඔහු ඈට අඬගැසූ විට ඇය ඔහු ඉදිරියට ආවා ය.</verse>
				<verse number="13">එලිෂා ද කතා කොට, “මේ සියලු සත්කාර කිරීමට ඔබ බොහෝ සේ මහන්සි වූ බැවින් ඔබ උදෙසා කුමක් කළ යුතු ද? රජුට හෝ සේනාපතියාට හෝ ඔබ වෙනුවට කතා කරනවාට කැමැති ද? කියා ඇගෙන් අසන්නැ”යි ගෙහාසීට කී ය. ඈ ද, “මාගේ ම සෙනඟ අතරේ මම වාසය කරමි”යි උත්තර දුන්නා ය.</verse>
				<verse number="14">“එසේ වී නම් ඈ උදෙසා කරන්න තිබෙන්නේ කිමෙක් දැ”යි ඔහු ඇසී ය. ගෙහාසී කතා කොට, “ඈට පුත්‍රයෙක් නැත, ඇගේ පුරුෂයාත් මහලු ය”යි කීවේ ය.</verse>
				<verse number="15">“ඈට අඬගසන්නැ”යි ඔහු කී ය. ඔහු ඈට අඬගැසූ කල ඈ දොරකඩ ළඟට ආවා ය.</verse>
				<verse number="16">එවිට ඔහු කතා කොට, “ලබන අවුරුද්දේ මේ කාලය පැමිණි විට ඔබ පුත්‍රයකු අතට ගන්නෙහි ය”යි කී ය. ඈ ද, “නැත, මාගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, ඔබේ දාසීට බොරු කියන්නට එපා ය”යි කීවා ය.</verse>
				<verse number="17">ඒ ස්ත්‍රිය ගර්භණී ව එලිෂා ඈට කී හැටියට ඊළඟ අවුරුද්දේ ඒ කාලය පැමිණි විට පුත්‍රයකු ලැබුවා ය.</verse>
				<verse number="18">ඒ ළමයා වැඩුණු කල එක් දවසක් ගොයම් කපන්නන් අතරේ සිටි තම පියා ළඟට ගියේ ය.</verse>
				<verse number="19">එවිට ඔහු, “අනේ! මාගේ ඔළුව කකියනවා ය; මාගේ ඔළුව කකියනවා ය”යි තම පියාට කී ය. පියා ද, “ඔහුගේ මවු ළඟට ඔහු ගෙනයන්නැ”යි තමාගේ වැඩකාරයාට කීවේ ය.</verse>
				<verse number="20">වැඩකාරයා ඔහු රැගෙන ඔහුගේ මවු ළඟට ගෙන ගියේ ය. ඔහු ඉර මුදුන් වේලාව දක්වා ඇගේ උකුලේ හිඳ මළේ ය.</verse>
				<verse number="21">එවිට ඈ නැඟිට ගොස්, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ ඇඳේ ඔහු බාවා, දොර වසා පිටතට ගියා ය.</verse>
				<verse number="22">තවද, ඈ තමාගේ පුරුෂයාට අඬගසා, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට හනික ගොස් එන පිණිස, වැඩකාරයෙකුත්, කොටළු දෙනකුත් මට එවන්නැ”යි කීවා ය.</verse>
				<verse number="23">ඔහු ද, “ඔබ අද ඔහු ළඟට යන්නේ කුමට ද? අද අමාවක වත්, සබත් දිනය වත් නොවේ ය”යි කී ය.</verse>
				<verse number="24">ඈ, “ඒකට කමක් නැත” කියා කොටළු දෙන සූදානම් කරගෙන ඇගේ වැඩකාරයාට කතා කොට, “කොටළු දෙන දක්කාගෙන යන්න; මා ඔබට කියන තෙක් දැක්කීමේ වේගය අඩු නොකරන්නැ”යි කීවා ය.</verse>
				<verse number="25">මෙසේ ඈ ගොස් කර්මෙල්‍ කන්දේ සිටි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට පැමිණියා ය. තවද, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ඈ දුර දී දැක තමාගේ මෙහෙකරු වන ගෙහාසීට කතා කොට, “අන්න, අර ෂුනම්මිය ස්ත්‍රිය එන්නී ය.</verse>
				<verse number="26">දැන් ම ඇගේ පෙරමඟට දිව ගොස්, ‘ඔබ සුව සේ ද? ඔබේ පුරුෂයා සුව සේ ද? ළමයා සුව සේ දැ’යි ඇගෙන් අසන්නැ”යි කී ය. “සුව සේ ය”යි ඈ ද උත්තර දුන්නා ය.</verse>
				<verse number="27">ඈ වනාහි කන්දේ සිටි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට පැමිණ ඔහුගේ පාද අල්ලාගත්තා ය. එවිට ගෙහාසී ඈ අහක් කරනු පිණිස ළං විය. එහෙත්, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා කතා කොට, “ඈට කරදර නොකරන්න; ඇගේ සිත ශෝකී ව ඇත. සමිඳාණන් වහන්සේ එය මට නොදන්වා මාගෙන් සැඟ වූ සේකැ”යි කී ය.</verse>
				<verse number="28">එවිට ඈ කතා කොට, “මාගේ ස්වාමීන්ගෙන් මම පුත්‍රයෙකු ඉල්ලුවෙම් ද? මා රවටන්න එපා කියා මම නොකීයෙම් දැ”යි ඇසුවා ය.</verse>
				<verse number="29">එවිට ඔහු ගෙහාසීට කතා කොට, “ඉඟටිය බැඳගෙන මාගේ සැරයටිය අතින් රැගෙන යන්න. යමෙකු ඔබට සම්බවුණත් ඔහුට ආචාර කරන්නේ වත්, යමෙකු ඔබට ආචාර කළත් ඔහුට උත්තර දෙන්නේ වත් නැති ව ගොස් මාගේ සැරයටිය ළමයා පිට තබන්නැ”යි කී ය.</verse>
				<verse number="30">එහෙත්, ළමයාගේ මවු, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ජීවමාන ඔබේ නාමයෙන් ද මම ඔබ අත්හැර නොයමි”යි දිවුරා කීවා ය. එවිට ඔහු පිටත් වී ඈ පසුපස ගියේ ය.</verse>
				<verse number="31">ගෙහාසී ඔවුන්ට පෙරටුවෙන් ගොස් සැරයටිය ළමයා පිට තැබී ය. එහෙත්, කිසි හඬක් වත්, පිළිතුරක් වත් නො වී ය. එබැවින් ගෙහාසී ඔහුගේ පෙරමඟට හැරී අවුත්, “ළමයා පිබිදුණේ නැතැ”යි ඔහුට දැන්නුවේ ය.</verse>
				<verse number="32">එලිෂා ඒ ගෙදරට පැමිණි විට ළමයා මැරී තමාගේ ඇඳේ බාවා තිබෙනු දිටී ය.</verse>
				<verse number="33">එවිට ඔහු ඇතුළු වී ඔවුන් දෙදෙනා සිටිද්දී දොර වසාගෙන සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය.</verse>
				<verse number="34">තවද, ඔහු ඇඳට නැඟී, ළමයා පිට වැතිර, තමාගේ කට ඔහුගේ කට පිට ද තමාගේ ඇස් ඔහුගේ ඇස් පිට ද තමාගේ අත් ඔහුගේ අත් පිට ද තබා ළමයා පිට දිගා විණි. ළමයාගේ මාංසය ද උණුසුම් විය.</verse>
				<verse number="35">එවිට ඔහු හැරී අවුත් ගෙයි එහා මෙහා ඇවිද, නැවත ඇඳට නැඟී ගොස් ඔහු පිට පෙර ලෙස ම සත් වරක් දිගාවුණේ ය. එවිට ළමයා කිඹිහුම් ඇර ඇස් ඇරියේ ය.</verse>
				<verse number="36">ඔහු ගෙහාසී කැඳවා, “ඒ ෂුනම්මිය ස්ත්‍රියට අඬගසන්නැ”යි කී ය. ඔහු ඈට අඬගැසී ය. ඈ ඔහු ළඟට ආ කල, “ඔබේ පුත්‍රයා ගන්නැ”යි ඔහු කී ය.</verse>
				<verse number="37">ඈ ද ඇතුළු වී ඔහුගේ පාමුල වැටී, බිමට නැමී වැඳ, ඇගේ පුත්‍රයා රැගෙන ගියා ය.</verse>
				<verse number="38">එලිෂා ගිල්ගාල් නුවරට නැවත ගොස් සිටිය දී දේශයෙහි දුර්භික්ෂයක් තිබිණි. දිවැසිවරු කණ්ඩායම ඔහු ඉදිරියෙහි වාඩි වී උන්නෝ ය. ඔහු තමාගේ මෙහෙකරුවා අමතා, “ලොකු සැළිය ලිපේ තබා දිවැසිවරයන්ට කෑම පිසින්නැ”යි කී ය.</verse>
				<verse number="39">එක් කෙනෙක් පලා එකතු කරන්නට කෙතට ගොස්, වල් කැකිරි වැලක් සම්බ වී, එයින් ගෙඩි කඩා ගෙන තමාගේ ඔඩොක්කුව පුරවාගන අවුත්, ඒවා කෑලි කොට කපා කෑම සැළියේ දැමී ය. එහෙත්, ඔව්හු, “ඒ මොනවා දැ”යි නොදත්හ.</verse>
				<verse number="40">තවද, ඔව්හු ඒවා මිනිසුන්ට කන පිණිස බෙදා දුන්නෝ ය. එහෙත්, ඔව්හු ඒ කෑම කන්න පටන්ගත් විට ම මොරගසා, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, සැළියේ විස තිබේ ය”යි කී හ.</verse>
				<verse number="41">ඔවුන්ට ඒවා කන්න නොහැකි විය. ඔහු ද, “එසේ වී නම් පිටි ටිකක් ගෙනෙ‍න්නැ”යි ඒවා සැළියෙහි දමා, “කන පිණිස සෙනඟට වත් කර දෙන්නැ”යි කී ය. එවිට සැළියෙහි කිසි විසක් නො වී ය.</verse>
				<verse number="42">තවද, බාල්-ෂාලිෂාහි සිට මනුෂ්‍යයෙක් ප්‍රථම අස්වැන්නෙන් යව රොටි විස්සක් ද අලුත් ගොයම් කරල් ද තමාගේ මල්ලේ දමාගෙන දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වෙත ගෙනාවේ ය. ඔහු ද, “සෙනඟට කන්න දෙන්නැ”යි කී ය.</verse>
				<verse number="43">ඔහුගේ මෙහෙකරුවා, “කිමෙක් ද? මේවා මනුෂ්‍යයන් සියයක් ඉදිරියෙහි තබන්න දැ”යි ඇසී ය. එහෙත් ඔහු, “ඒවා සෙනඟට කන්න දෙන්න; මන්ද, ඔවුන් අනුභව කොට ඉතිරි කරනු ඇත කියා සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි පැවසී ය.</verse>
				<verse number="44">එවිට ඔහු ඒවා ඔවුන් ඉදිරියෙහි තැබී ය. ඔව්හු එයින් අනුභව කොට සමිඳාණන් වහන්සේ වදාළ ලෙස ඉතිරි කළෝ ය.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">සිරියාවේ රජුගේ සේනාපතියා වූ නාමන් තමාගේ ස්වාමියා වෙත උත්තමයෙකු ව ගරුබුහුමන් ලැබූ මනුෂ්‍යයෙකු ව සිටියේ ය. මන්ද, ඔහු කරණකොටගෙන සමිඳාණන් වහන්සේ සිරියන්වරුන්ට ජය දී තිබිණි. ඔහු බලසම්පන්න කෙනෙකු වූ නමුත් කුෂ්ඨ රෝගියෙක් විය.</verse>
				<verse number="2">සිරියන්වරුන්ගේ එක්තරා ආක්‍රමණයක දී ඔවුන් ඉශ්රායෙල් දේශයෙන් කුඩා දැරියක අල්ලාගෙන අවුත් තිබිණි. ඈ නාමන්ගේ භාර්යාවට සේවය කළා ය.</verse>
				<verse number="3">ඈ වනාහි ඇගේ ස්වාමිදුවට කතා කොට, “මාගේ ස්වාමියා සමාරියේ දිවැසිවරයා ඉදිරියෙහි පෙනී සිටියොත් හොඳ‍ ය; එවිට ඔහුගේ කුෂ්ඨය සුව කරනු ඇතැ”යි කීවා ය.</verse>
				<verse number="4">එවිට නාමන් ගොස් ඉශ්රායෙල් දේශයෙන් ආ දැරිය කී දේ එලෙස ම කියා තමාගේ ස්වාමියාට දැන්වී ය.</verse>
				<verse number="5">සිරියාවේ රජ ද, “ඉතින් ඔබ එහි යන්න; මම ඉශ්රායෙල් රජුට ලියුමක් හරින්නෙමි”යි කී ය. ඔහු ද රිදී කාසි තිස්දාහකුත්, රන් කාසි හයදාහකුත්, ඇඳුම් කුට්ටම් දසයකුත් රැගෙන පිටත් ව ගියේ ය.</verse>
				<verse number="6">ඔහු ඒ ලියුම ඉශ්රායෙල් රජු වෙත ගෙනාවේ ය. “මේ ලියුම ඔබට ලැබුණු විට නාමන් නම් මාගේ සේවකයාගේ කුෂ්ඨය සුව කරන පිණිස ඔහු ඔබ ළඟට එවමි”යි එහි ලියා තිබිණි.</verse>
				<verse number="7">ඉශ්රායෙල් රජ ලියුම කියවා, පුදුම වී තමාගේ ඇඳුම් ඉරාගෙන, “මනුෂ්‍යයෙකුගේ කුෂ්ඨය සුව කරන්නට කියා මොහු මට ලියා එවන්නේ යමෙකු මරන්නත්, ජීවත් කරන්නත් මා දෙවියන් වහන්සේ කියා සිතාගෙන ද? මොහු මට විරුද්ධ ව දබරයකට කාරණයක් සොයන හැටි කල්පනා කර බලන්නැ”යි කී ය.</verse>
				<verse number="8">ඉශ්රායෙල් රජු තමාගේ ඇඳුම් ඉරාගත් බව දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන එලිෂා අසා, “ඔබ කුමක් නිසා ඔබේ ඇඳුම් ඉරාගන්නෙහි ද? ඔහු මා ළඟට ආවා වේ. එවිට ඔහු ඉශ්රායෙල්හි දිවැසිවර කෙනෙකු සිටින බව දැනගන්නේ ය”යි රජුට කියා යැවී ය.</verse>
				<verse number="9">මෙසේ නාමන් තමාගේ අශ්වයන් ද රථ ද ඇති ව අවුත් එලිෂාගේ ගෙයි දොරකඩ ළඟ සිටියේ ය.</verse>
				<verse number="10">එලිෂා කතා කොට, “ඔබ ගොස් ජොර්දාන් ගඟෙහි සත් වරක් නාන්න; එවිට ඔබේ කුෂ්ඨය සුව වී ඔබේ ශරීරය නැවත පවිත්‍ර වන්නේ ය”යි පණිවුඩකාරයෙකු අත කියා යැවී ය.</verse>
				<verse number="11">එහෙත්, නාමන් කෝප වී යන්නට ගියේ ය. ඔහු කතා කොට, “ඔහු පිටතට මා ළඟට අවුත් සිටගෙන, තමාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය කියා යාච්ඤා කර, කුෂ්ඨය මත්තෙහි තමාගේ අත වනා රෝගියා සුව කරනු ඇතැ යි මම සිතුවෙමි.</verse>
				<verse number="12">දමස්කයෙහි ගංගා වන අබානා සහ පර්පර් ඉශ්රායෙල් දේශයේ සියලු ගංගා ජලයට වඩා හොඳ‍ නොවේ ද? ඒවායේ ස්නානය කොට පවිත්‍රවන්න මට බැරි දැ”යි ඇසී ය. මෙසේ ඔහු කෝපයෙන් හැරී ගියේ ය.</verse>
				<verse number="13">ඔහුගේ සේවකයෝ ළඟට අවුත් ඔහුට කතා කොට, “මාගේ පියාණෙනි, දිවැසිවරයා මහා දෙයක් කරන්න ඔබට කීවේ නම් ඔබ කරන්නේ නැද් ද? එසේ වී නම්, ‘ස්නානය කොට පවිත්‍ර වන්නැ’යි ඔහු ඔබට කී කල එය කරන්න බැරි දැ”යි ඇසූ හ.</verse>
				<verse number="14">එවිට ඔහු බැස ගොස් දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ කීම ලෙස ජොර්දාන් ගඟෙහි සත් වරක් ගිලී ස්නානය කෙළේ ය. ඔහුගේ ශරීරය ද කුඩා ළමයෙකුගේ ශරීරය මෙන් පවිත්‍ර විය.</verse>
				<verse number="15">එවිට ඔහු තමාගේ මුළු පිරිවර සමඟ දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට හැරී අවුත්, ඔහු ඉදිරියේ සිට කතා කොට, “ඉතින් ඉශ්රායෙල්හි සිටින දෙවියන් වහන්සේ මිස මුළු පොළොවේ වෙන දෙවි කෙනෙකුන් නැති බව දැන් මම දනිමි. එබැවින් දැන් ඔබේ මෙහෙකරුවාගෙන් තෑගි පිළිගත මැනවැ”යි කී ය.</verse>
				<verse number="16">ඔහු ද කතා කරමින්, “මා සේවය කරන ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම කිසිවක් නොපිළිගනිමි”යි දිවුරමින් කීවේ ය. එවිට ඔහු එය පිළිගන්න හැටියට ඔහුට පෙරැත්ත කෙළේ ය. එහෙත්, ඔහු අකමැති විය.</verse>
				<verse number="17">එවිට නාමන්, “එසේ නැත්නම්, කොටළුවන් දෙන්නෙකුට ගෙන යත හැකි බරට පස් වත් ඔබේ මෙහෙකරුවාට ලැබේ වා. මන්ද, මින් මතු ඔබේ මෙහෙකරුවා සමිඳාණන් වහන්සේට මිස වෙන දෙවිවරුන්ට දවන යාග පූජාවක් වත්, යාගයක් වත් ඔප්පු කරන්නේ නැත.</verse>
				<verse number="18">මේ කාරණය ගැන සමිඳාණන් වහන්සේ ඔබේ මෙහෙකරුවාට කමා වන සේක් වා! එනම්, මාගේ ස්වාමියා, රිම්මොන්ගේ දේවාලයෙහි වඳින්නට මාගේ අතේ හේත්තු වී එහි යන විට මාත් රිම්මොන්ගේ දේවාලයෙහි දී වැන්දොත්, එසේ වඳින විට සමිඳාණන් වහන්සේ ඒ කාරණය ගැන ඔබේ මෙහෙකරුවාට කමා වන සේක් වා”යි කී ය.</verse>
				<verse number="19">එලිෂා ද, “සාමදානයෙන් යන්නැ”යි ඔහුට කී ය. එවිට ඔහු එලිෂා වෙතින් වෙන් ව ටික දුරක් ගියේ ය.</verse>
				<verse number="20">එකල දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන එලිෂාගේ වැඩකාර ගෙහාසී කල්පනා කොට, “බලන්න, මාගේ ස්වාමියා මේ සිරියන් ජාතික නාමන් ගෙනා දේවල් ඔහුගේ අතින් නොපිළිගෙන නිකම් යන්න හැරියේ ය. ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම ඔහු පස්සේ දිව ගොස් ඔහුගෙන් යමක් ලබාගනිමි”යි දිවිරී ය.</verse>
				<verse number="21">මෙසේ ගෙහාසී නාමන් පසුපස ගියේ ය. නාමන් තමා පසුපස කෙනෙකු දුවගෙන එනු දැක ඔහු සම්බවන්න රථයෙන් බැස, “යම් කරදරයක් ඇත්දැ”යි ඇසී ය.</verse>
				<verse number="22">ඔහු ද, “කරදරයක් නැත. දිවැසිවර කණ්ඩායමෙන් තරුණයෝ දෙදෙනෙක් එප්‍රායිම් කඳු රටේ සිට මේ දැන් මා වෙත ආවෝ ය. ඔවුන්ට රිදී කාසි තුන්දාහකුත්, ඇඳුම් කුට්ටම් දෙකකුත් දුන මැනවැ යි කියන්නට මාගේ ස්වාමියා මා එවුවේ ය”යි කීවේ ය.</verse>
				<verse number="23">නාමන් ද කතා කොට, “ඔබ රිදී කාසි හයදාහක් ගන්නට සතුටු වන්නැ”යි ඔහුට පෙරැත්ත කර, රිදී කාසි හයදාහක් මලු දෙකක බැඳ, ඇඳුම් කුට්ටම් දෙකකුත් තමාගේ වැඩකාරයන් දෙදෙනෙකු පිට තැබුවේ ය. ඔව්හු ඔහුට පෙරටුවෙන් ඒවා උසුලාගෙන ගියෝ ය.</verse>
				<verse number="24">හෙල ළඟට පැමිණි විට ඔහු ඔවුන් අතින් ඒවා රැගෙන ගෙයි තබා, ඒ මනුෂ්‍යයන් යන්න හැරියේ ය. ඔව්හු ද යන්නට ගියෝ ය.</verse>
				<verse number="25">ඔහු වනාහි ඇතුළු වී තමාගේ ස්වාමියා ඉදිරියේ සිටියේ ය. එලිෂා කතා කොට, “ගෙහාසී ඔබ කොහේ ගොස් ආවෙහි දැ”යි ඔහුගෙන් ඇසී ය. “ඔබේ මෙහෙකරුවා කොහේවත් ගියේ නැතැ”යි ඔහු කී ය.</verse>
				<verse number="26">එලිෂා කතා කොට, “ඒ මනුෂ්‍යයා තමාගේ රථයෙන් බැස ඔබ සම්බවන්න හැරී ආ විට මාගේ ආත්මානුභාවය ඔබ සමඟ ගියේ නැද් ද? මේ මුදල් පිළිගන්නත්, ඇඳුම් ද ඔලීව වතු ද මිදි වතු ද බැටළුවන් ද ගවයන් ද දාස දාසීන් ද පිළිගන්නත් අවස්ථාවක් ද?</verse>
				<verse number="27">එබැවින් නාමන්ගේ කුෂ්ඨය ඔබටත්, ඔබේ වංශයටත් නිරතුරු ම වැළදෙන්නේ ය”යි ඔහුට කී ය. එවිට ඔහු හිම මෙන් කුෂ්ඨයක් ඇති ව ඔහුගෙන් ඉවත් ව ගියේ ය.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">දිවැසිවරු කණ්ඩායම එලිෂාට කතා කොට, “බැලුව මැනව, අප ඔබ ඉදිරියෙහි වසන මේ ස්ථානය අපට ඉඩ මදි ය.</verse>
				<verse number="2">ජොර්දානය ළඟට ගොස්, එතැනින් එක් එක්කෙනා ලීයක් බැගින් රැගෙන අපේ වාසයට එහි ස්ථානයක් සාදාගන්න අපට අවසර ලැබේ වා”යි කී හ. “යන්නැ”යි ඔහු පිළිතුරු දිනි.</verse>
				<verse number="3">එක් කෙනෙක්, “ඔබ ද, ඔබේ මෙහෙකරුවන් සමඟ යන්න සතුටු වුව මැනවැ”යි කී ය. “මම යමි”යි ඔහු ඔවුන් සමඟ ගියේ ය.</verse>
				<verse number="4">ඔව්හු ජොර්දානය ළඟට පැමිණ ගස් කැපූ හ.</verse>
				<verse number="5">එක් කෙනෙකු ලීයක් කපද්දී පොරෝ තලය වතුරේ වැටිණි. ඔහු, “අනේ මාගේ ස්වාමීනි, ඒක ඉල්ලාගත් එකකැ”යි කෑගසා කී ය.</verse>
				<verse number="6">එවිට දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා කතා කොට, “එය වැටුණේ කොහේ දැ”යි ඇසී ය. ඔහු ඒ ස්ථානය ඔහුට පෙන්නූ විට ඔහු දණ්ඩක් කපා එහි දැමී ය. එවිට යකඩය පා විය.</verse>
				<verse number="7">ඔහු ද කතා කොට, “ඒක ගන්නැ”යි කී විට ඔහු අත දිගු කර එය ගත්තේ ය.</verse>
				<verse number="8">සිරියාවේ රජ ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන විට තමාගේ සේවකයන් සමඟ මන්ත්‍රණය කරමින්, “අසවල්, අසවල් තැන මාගේ කඳවුරු විය යුතු ය”යි කී ය.</verse>
				<verse number="9">දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ද, “සිරියන්වරුන් අසවල් තැනට බැස එන නිසා ඒ ළඟින් නොයන හැටියට බලාගත මැනව”යි ඉශ්රායෙල් රජුට දන්වමින් අනතුරු ඇඟවී ය.</verse>
				<verse number="10">දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා දැනුම් දුන් ස්ථානයට ඉශ්රායෙල් රජ මිනිසුන් යැවී ය. ඔහු ද රජුට අනතුරු ඇඟ වූ බැවින් රජ ද පරීක්ෂාකාරී ව සිටියේ ය. එසේ වූයේ වරක් දෙවරක් නොව, බොහෝ වාරයක් ය.</verse>
				<verse number="11">මේ කාරණය ගැන සිරියාවේ රජුගේ සිත කැළඹී ඔහු තමාගේ සේවකයන් කැඳවා, “අපෙන් ඉශ්රායෙල් රජුගේ පක්ෂයට සිටින්නේ කවරෙක් ද කියා ඔබ මට දන්වන්නේ නැද් දැ?”යි ඇසී ය.</verse>
				<verse number="12">ඔහුගේ සේවකයන්ගෙන් එක් කෙනෙක් කතා කොට, “මාගේ ස්වාමීන් වන රජතුමනි, එසේ නොවේ. ඔබේ යහන් ගබඩාවේ දී ඔබ කියන වචන ඉශ්රායෙල්හි දිවැසිවරයා වන එලිෂා, ඉශ්රායෙල් රජුට දන්වන්නේ ය”යි කීවේ ය.</verse>
				<verse number="13">එවිට ඔහු කතා කොට, “මා විසින් ඔහු අල්ලාගනු ලබන පිණිස ඔහු කොතැන ද කියා ඔබ ගොස් බලන්නැ”යි කී ය. “ඔහු දොතාන්හි සිටින්නේ ය”යි ඔහුට දන්වන ලදී.</verse>
				<verse number="14">එබැවින් ඔහු අශ්වයන් ද රථ ද විශාල හමුදාවක් ද එහි යැවී ය. ඔව්හු රාත්‍රියේ අවුත් නුවර වටලාගත්තෝ ය.</verse>
				<verse number="15">එලිෂාගේ සේවකයා අලුයම නැඟිට පිටතට ගිය කල හමුදාවක්, අශ්වයන් හා රථ ඇති ව නුවර වටේට සිටිනු දුටුවේ ය. එවිට ඔහු, “අහෝ! ස්වාමීනි, අපි කුමක් කරමු දැ”යි ඔහුගෙන් ඇසී ය.</verse>
				<verse number="16">ඔහු ද කතා කොට, “බිය නොවන්න. මන්ද, ඔවුන් සමඟ සිටින අයට වඩා අප සමඟ සිටින අය බොහෝ ය”යි කීවේ ය.</verse>
				<verse number="17">එවිට එලිෂා යාච්ඤා කොට, “සමිඳාණන් වහන්ස, ඔහුට පෙනෙන පිණිස ඔහුගේ ඇස් පැහැදුව මැනවැ”යි කී ය. සමිඳාණන් වහන්සේ සේවකයාගේ ඇස් පැහැදූ සේක. එවිට එලිෂා වටේට ගිනි අශ්වයන්ගෙන් ද ගිනි රථවලින් ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේ ය.</verse>
				<verse number="18">ඔවුන් එලිෂා ළඟට ගිය කල ඔහු, “මේ සෙනඟ අන්ධ කළ මැනවැ”යි සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. උන් වහන්සේ එලිෂාගේ ඉල්ලීම ලෙස ඔවුන් අන්ධ කළ සේක.</verse>
				<verse number="19">එවිට එලිෂා ඔවුන්ට කතා කොට, “ඒ පාර මෙය නොවේ. ඒ නුවරත් මෙය නොවේ. මා පසුපස එන්න, ඔබ සොයන මනුෂ්‍යයා ළඟට මම ඔබ ගෙනයන්නෙමි”යි ඔවුන් සමාරියට ගෙන ගියේ ය.</verse>
				<verse number="20">තවද ඔවුන් සමාරියට පැමිණි විට එලිෂා කතා කොට, “සමිඳාණන් වහන්ස, පෙනෙන පිණිස මොවුන්ගේ ඇස් පැහැදුව මැනවැ”යි කී ය. සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ ඇස් පැහැදූ සේක. ඔව්හු බැලූ විට තමන් සමාරිය මැද සිටින බව දුටුවෝ ය.</verse>
				<verse number="21">ඉශ්රායෙල් රජු ඔවුන් දැක, “මාගේ පියාණෙනි, ඔවුන්ට පහර දෙම් ද? පහර දෙම් දැ”යි එලිෂාගෙන් ඇසී ය.</verse>
				<verse number="22">ඔහු, “ඔබ ඔවුන්ට පහර නොදිය යුතු ය. ඔබේ කඩුවෙන් ද ඔබේ දුන්නෙන් ද අල්ලාගත් තැනැත්තන්ට ඔබ පහර දෙන්නෙහි ද? ඔවුන් කා බී තමන්ගේ ස්වාමියා ළඟට යන පිණිස ඔවුන්ට කෑම ද වතුර ද දෙන්නැ”යි කී ය.</verse>
				<verse number="23">ඔහු ඔවුන්ට මහා භෝජන සංග්‍රහයක් පිළියෙළ කළේ ය. ඔවුන් ආහාර පාන අනුභව කළ පසු ඔහු ඔවුන් පිටත් කර හැරියේ ය. ඔව්හු ද තමන්ගේ ස්වාමියා ළඟට ගියෝ ය. සිරියාවේ ආක්‍රමණය සඳහා යෙදෙන කණ්ඩායම් තවත් ඉශ්රායෙල් රටට නාවෝ ය.</verse>
				<verse number="24">ඉන්පසු සිරියාවේ රජ වන බෙන්-හදද් තමාගේ මුළු සේනාව රැස් කරගෙන විත් සමාරිය වටලාගත්තේ ය. මහා සාගතයක් සමාරියෙහි විය.</verse>
				<verse number="25">කොටළු හිසක් රිදී කාසි අසූවකටත්, වල් ලූණු ග්‍රෑම් දෙසියයක් රිදී කාසි පහකටත් විකිණෙන තෙක් ඔව්හු සමාරිය වටලාගෙන සිටියෝ ය.</verse>
				<verse number="26">ඉශ්රායෙල් රජු පවුර පිට යන කල ස්ත්‍රියක් කතා කොට, “මාගේ ස්වාමීන් වන රජතුමනි, පිහිට වුව මැනවැ”යි මොරගැසුවා ය.</verse>
				<verse number="27">ඔහු උත්තර දෙමින්, “සමිදාණන් වහන්සේ ඔබට පිහිට නොවන සේක් නම්, මම කුමකින් ඔබට පිහිට වෙම් ද? මට තිරිඟු වත් මිදි වත් ඇද් දැ?”යි කියා,</verse>
				<verse number="28">“ඔබට කුමක් වී තිබේ දැ”යි ඇගෙන් ඇසී ය. ඈ ද පිළිතුරු දෙමින්, “ ‘ඔබේ පුත්‍රයා අද අපට කන්න දෙන්න. මාගේ පුත්‍රයා හෙට අපි කන්නෙමු‍’යි මේ ස්ත්‍රිය මට කීවා ය.</verse>
				<verse number="29">එසේ අපි මාගේ පුතා උයා කෑවෙමු. පසු දින ‘ඔබේ පුත්‍රයා අපට කන්න දියන්නැ’යි ඈට කීවෙමි. එහෙත් ඈ ඇගේ පුත්‍රයා සඟවාගෙන සිටියා ය” කීවා ය.</verse>
				<verse number="30">එකල රජ පවුර පිට යමින් සිටියේ ය. ඔහු වනාහි ස්ත්‍රියගේ වචනය අසා මවිත වී තමාගේ ඇඳුම් ඉරාගත්තේ ය. සෙනඟ ද ඔහු දෙස බලා ඔහු ඇඟ යටට ගෝණි රෙදි ඇඳ තිබෙනු දුටුවෝ ය.</verse>
				<verse number="31">එවිට ඔහු, “ශාපාත්ගේ පුත් එලිෂාගේ හිස අද නොසිඳ තිබෙන්නට හැරියොත් දෙවියන් වහන්සේ මට ඉතා තදින් දඬුවම් කරන සේක් වා”යි කී ය.</verse>
				<verse number="32">එලිෂා ප්‍රජා මූලිකයන් සමඟ තමාගේ ගෙදර වාඩි වී සිටියේ ය. එවිට රජ තමා වෙතින් මනුෂ්‍යයෙකු යැවී ය. එහෙත්, පණිවුඩකාරයා ඔහු ළඟට එන්න පළමුවෙන් එලිෂා ප්‍රජා මූලිකයන්ට කතා කොට, “අර මිනීමරුවාගේ පුතා මාගේ හිස කපාදමන්න කෙනෙකු එවූ බව ඔබට පෙනේ ද? ඔබ බලා සිට පණිවුඩකාරයා ආ විට, ඔහුට ඇතුළු වන්න ඉඩ නොදී, දොර වසා එය තද කරගෙන සිටින්න. ඔහුට පස්සෙන් එන ඔහුගේ ස්වාමියාගේ අඩි ශබ්දය ඇසෙන්නේ නැද් දැ?”යි ඇසී ය.</verse>
				<verse number="33">ඔහු ඔවුන් සමඟ කතා කරද්දී ම පණිවුඩකාරයා ඔහු ළඟට ආවේ ය. රජ කතා කොට, “මේ නපුර සමිඳාණන් වහන්සේගෙන් ය; සමිඳාණන් වහන්සේ ගැන මා තවත් බලාපොරොත්තු වන්නේ කුමට දැ”යි ඇසී ය.</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">එවිට එලිෂා කතා කොට, “සමිඳාණන් වහන්සේගේ පණිවුඩය අසන්න. ‘හෙට මේ වේලාවට පමණ රිදී කාසියකට සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද, රිදී කාසියකට යව කිලෝග්‍රෑම් හයක් ද සමාරියෙහි දොරටුවෙහි විකිණෙනු ඇත’ කියා සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කී ය.</verse>
				<verse number="2">එවිට තම අතට රජු හේත්තු වී සිටි නිලධාරියා දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාට උත්තර දෙමින්, “සමිඳාණන් වහන්සේ අහසේ කවුළු සාදා වැසි එව්වත් මෙය සිදු විය හැකි දැ”යි කී ය. “එය ඔබේ ඇස්වලින් දකින්නෙහි ය. එහෙත්, එයින් නොකන්නෙහි ය”යි ඔහු පැවසී ය.</verse>
				<verse number="3">කුෂ්ඨ රෝගීහු සතර දෙනෙක් වාසල් දොරකඩ සිටියෝ ය. ඔව්හු එකිනෙකාට කතා කොට, “අපි නහින තුරු කුමට මෙහි සිටිමු ද?</verse>
				<verse number="4">අපි නුවරට ඇතුළුවෙමු යි කීවත් නුවර තුළ සාගතය තිබෙන නිසා අප එහි නසිනු ඇත. මෙහි සිටියත් නසිනු ඇත. එබැවින් දැන් එන්න, අපි සිරියන්වරුන්ගේ සේනාවට එකතුවෙමු. ඔවුන් අප ආරක්ෂා කළොත් අපි ජීවත්වන්නෙමු‍. ඔවුන් අප මැරුවොත් අපට මරණය පමණක් සිදු වනු ඇතැ”යි කී හ.</verse>
				<verse number="5">එසේ ඔව්හු සිරියන්වරුන්ගේ කඳවුරට යන පිණිස ඇඳිරි වේගෙන එන වේලෙහිම පිටත් වූ හ. එහෙත්, ඔව්හු සිරියන්වරුන්ගේ කඳවුරේ සීමාවට පැමිණෙන විට එහි කිසිවෙකු නැති බව දුටුවෝ ය.</verse>
				<verse number="6">මන්ද, සමිඳාණන් වහන්සේ රථ ඝෝෂාවක් ද අශ්ව ඝෝෂාවක් ද යන මහා සේනාවක ඝෝෂාවක් සිරියන්වරුන්ගේ සේනාවට ඇසෙන්න සැලැසූ සේක. ඔව්හු එකිනෙකාට කතා කොට, “ඉශ්රායෙල් රජ හිත්තීවරුන්ගේ ද මිසරවරුන්ගේ ද රජුන් අපට විරුද්ධ ව කුලියට ගෙන්වාගත්තේ ය” කියා</verse>
				<verse number="7">නැඟිට රෑ කාලයේ පලා ගියහ. ඔව්හු තමන්ගේ කූඩාරම් ද අශ්වයන් ද කොටළුවන් ද ඇතුළු ව කඳවුර තිබුණු හැටියට ම අත්හැර තමන්ගේ ප්‍රාණය ගළවා ගන්නට පලා ගියහ.</verse>
				<verse number="8">ඒ කුෂ්ඨ රෝගීන් කඳවුරේ සීමාවට පැමිණි විට, ඔව්හු එක් කූඩාරමකට ඇතුළු වී කා බී, එතැනින් රන් රිදී වස්ත්‍ර රැගෙන ගොස්, සඟවා තබා, නැවත හැරී අවුත්, වෙන කූඩාරමකට ඇතුළු වී, එතැනිනුත් ඒවා රැගෙන ගොස් සඟවා තැබූ හ.</verse>
				<verse number="9">එවිට කුෂ්ඨ රෝගීහු සතරදෙන එකිනෙකාට කතා කොට, “අප කරන දේ හරි නැත. අද දවස හොඳ‍ ආරංචි ඇති දවසක් ව තිබෙද්දී අපි නිශ්ශබ්ද ව සිටිමු. උදය එළි වන තුරු ප්‍රමාද වුණොත් අපට වරද පැමිණෙයි. ඒ නිසා එන්න, අපි රජ ගෙදරට මෙපවත් දන්වමු”යි කී හ.</verse>
				<verse number="10">මෙසේ ඔව්හු අවුත් නුවර දොරටු පාලකයන්ට හඬගසා කතා කොට, “අපි සිරියන්වරුන්ගේ කඳවුරට ගියෙමු. එහි කිසි මනුෂ්‍යයෙක් වත්, මනුෂ්‍ය හඬක් වත් නැත. බඳින ලද අශ්වයෝත්, කොටළුවෝත් සිටිති. කූඩාරම් ද තිබුණු හැටියට ම තිබේ ය”යි ඔවුන්ට දැන්නූ හ.</verse>
				<verse number="11">දොරටු පාලකයෝ හඬගසා රජ ගෙදර වැසියන්ට එපවත් දැන්නූ හ.</verse>
				<verse number="12">රජ තෙමේ රාත්‍රියේ නැඟිට, තමාගේ සේවකයන්ට කතා කොට, “ඉතින් සිරියන්වරුන් අපට කර තිබෙන කාරණය ඔබට දන්වමි. අපට කුසගිනි ඇති බව ඔව්හු දනිති. එබැවින් අප නුවරින් පිටත ආ කල ඔව්හු අප පණපිටින් අල්ලා, නුවරට ඇතුළු වන්නට සිතාගෙන පිටත සැඟවී ඉන්න කඳවුර අත්හැර ගියෝ ය”යි කීවේ ය.</verse>
				<verse number="13">සේවකයන්ගෙන් එක් කෙනෙක් උත්තර දෙමින්, “නුවර ඉතිරි ව සිටින අශ්වයන්ගෙන් පස්දෙනෙකු රැගෙන කඳවුර බැලීම සඳහා මනුෂ්‍යයන් යවමු. මෙහි ඉතිරි ව සිටින මුළු ඉශ්රායෙල් සමූහය මෙන් ඔවුන් ද මැරෙනු ඇතැ”යි කී ය.</verse>
				<verse number="14">ඔව්හු අශ්වයන් යෙදූ රථ දෙකක් ගත්තෝ ය. “එහි ගොස් බලන්න” කියා රජ සිරියන් සේනාව පස්සේ ඔවුන් යැවී ය.</verse>
				<verse number="15">ඔව්හු ඔවුන් පස්සේ ජොර්දාන් ගඟ දක්වා ගියහ. සිරියන්වරුන් ඉක්මනින් පලා යද්දී විසිකළ වස්ත්‍රවලින් හා භාජනවලින් මාවත දිගට ම පිරී තිබිණි. පණිවුඩකාරයෝ හැරී අවුත් රජුට එපවත් දැන්නුවෝ ය.</verse>
				<verse number="16">සෙනඟ ගොස් සිරියන්වරුන්ගේ කඳවුර කොල්ලකෑ හ. මෙසේ සමිඳාණන් වහන්සේ වදාළ ලෙස රිදී කාසි එකකට සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද රිදී කාසි එකකට යව කිලෝග්‍රෑම් හයක් ද විකුණන්නට යෙදුණේ ය.</verse>
				<verse number="17">තමාගේ අත පිට රජු හේත්තු වී සිටි අධිපතියා රජු විසින් දොරටුව බලාගැනීමට පත් කරන ලද්දේ ය. ඔහු දොරටුවේ දී සෙනඟට පෑගී මැරුණේ ය. මෙසේ රජු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට ගිය විට ඔහු කී ලෙස සිද්ධ විය.</verse>
				<verse number="18">“යව කිලෝග්‍රෑම් හයක් රිදී කාසියකට ද සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් රිදී කාසියකට ද හෙට මේ වේලාවට පමණ සමාරියෙහි දොරටුවෙහි විකිණෙනු ඇතැ”යි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා රජුට කතා කර කී විට,</verse>
				<verse number="19">ඒ අධිපතියා ඔහුට උත්තර දෙමින්, “බලන්න, සමිඳාණන් වහන්සේ අහසේ කවුළු සාදා වැසි එව්වත් එබඳු දෙයක් සිදු විය හැකි දැ”යි කීවේ ය. එලිෂා කතා කොට, “ඔබ එය ඔබේ ඇස්වලින් දකින්නෙහි ය. එහෙත්, එයින් නොකන්නෙහි ය”යි කී ය.</verse>
				<verse number="20">එසේ ම සිදු විය. ඔහු දොරටුවේ දී සෙනඟට පෑගී මළේ ය.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">තවද, එලිෂා විසින් නැවත පණ දෙන ලද ළමයාගේ මවුට ඔහු කතා කොට, “ඔබේ ගෙවැසියන් සමඟ ඔබ පිටත් ව ගොස් ඔබට නැවතී සිටින්න පුළුවන් තැනක සිටින්න. මන්ද, සමිඳාණන් වහන්සේ සාගතයක් නියම කර තිබේ. එය සත් අවුරුද්දක් දේශයෙහි පවතිනු ඇතැ”යි කී ය.</verse>
				<verse number="2">ඒ ස්ත්‍රී දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ වචනය ලෙස කරමින් ඇගේ ගෙවැසියන් සමඟ පිටත් ව ගොස් පිලිස්තිවරුන්ගේ දේශයෙහි සත් අවුරුද්දක් සිටියා ය.</verse>
				<verse number="3">සත් අවුරුද්ද කෙළවර දී ඒ ස්ත්‍රී පිලිස්තිවරුන්ගේ දේශයෙන් හැරී ආවා ය. තවද, ඈ ඇගේ ගෙය සහ ඉඩම ගැන රජුට පැමිණිල්ලක් කිරීමට පිටත් ව ආවා ය.</verse>
				<verse number="4">එකල්හි රජ, “එලිෂා කළ සියලු පුදුම දේවල් මට කියන්නැ”යි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ වැඩකාර ගෙහාසී සමඟ කතා කරමින් සිටියේ ය.</verse>
				<verse number="5">ඔහු විසින් මළ කෙනෙකු ජීවත් කරනු ලැබූ සැටි රජුට කියන විට ම බලන්න, එසේ ඔහු විසින් නැවත පණ දෙන ලද ළමයාගේ මවු තමාගේ ගෙය සහ ඉඩම ගැන රජුට පැමිණිලි කරමින් සිටියා ය. ගෙහාසී කතා කොට, “මාගේ ස්වාමීන් වන රජතුමනි, මේ සිටින්නේ ඒ ස්ත්‍රිය ය; මේ සිටින්නේ එලිෂා විසින් නැවත පණ දෙන ලද ඇගේ පුත්‍රයා ය”යි කී ය.</verse>
				<verse number="6">රජු ද ස්ත්‍රියගෙන් ඇසූ විට ඈ ඔහුට සියල්ල කීවා ය. තවද, රජ තෙමේ ඈ ගැන එක්තරා මුලාදෑනියෙකුට නියම කොට, “ඈට අයිති වූ සියල්ල ද ඈ දේශය අත්හැර ගිය දා පටන් මේ වන තුරු ඇගේ ඉඩමෙන් හටගත් සියලු පල ද ඈට ලබා දෙන්නැ”යි කී ය.</verse>
				<verse number="7">එලිෂා දමස්කයට පැමිණියේ ය. එකල්හි සිරියාවේ බෙන්-හදද් රජ ලෙඩින් සිටියේ ය. එවිට, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා මෙහි ආවේ ය”යි ඔහුට දන්වන ලදී.</verse>
				<verse number="8">රජ හසායෙල්ට කතා කොට, “ඔබ තෑග්ගක් රැගෙන දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා සම්මුඛවන්න ගොස්, ‘මේ ලෙඩෙන් මම සුව වෙම් දැ’යි ඔහු ලවා සමිඳාණන් වහන්සේගෙන් විචාරන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="9">එවිට හසායෙල් තෑග්ගක් ගෙන දමස්කයේ නන් වැදෑරුම් ඉස්තරම් හොඳ‍ දේවල් ඔටුවන් සතළිස්දෙනෙකු පිට පටවාගෙන ඔහු වෙත පැමිණ, ඔහු ඉදිරියෙහි සිට, “ ‘මේ ලෙඩෙන් මම සුව වන්නෙම් ද’ කියා විචාරන්නට ඔබේ පුත් සිරියාවේ රජු වන බෙන්-හදද් මා ඔබ ළඟට එව්වේ ය”යි කී ය.</verse>
				<verse number="10">එලිෂා ද උත්තර දෙමින්, “ඔබ ගොස්, ‘සැබැවින් ඔබ සුව වන්නෙහි ය’යි ඔහුට කියන්න. එහෙත්, ඔහු සැබැවින් නසින බව සමිඳාණන් වහන්සේ මට පෙන්වා තිබේ ය”යි ඔහුට කී ය.</verse>
				<verse number="11">තවද, සංවේගයට පත් වන තුරු ම දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ඔහු දෙස බලා සිට පසු ව ඇඬුවේ ය.</verse>
				<verse number="12">එවිට හසායෙල්, “මාගේ ස්වාමියා අඬන්නේ කුමක් නිසා දැ”යි ඇසී ය. ඔහු උත්තර දෙමින්, “ඔබ ඉශ්රායෙල් ජනයාට කරන්න යන නපුර මා දන්න නිසා ය. ඔබ ඔවුන්ගේ බලකොටු ගිනිලා, ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් නසා, ඔවුන්ගේ දරුවන් බිම ගසා මරා, ඔවුන්ගේ ගර්භණීන් දෙපළුකර දමන්නෙහි ය”යි කී ය.</verse>
				<verse number="13">හසායෙල් ද කතා කොට, “බල්ලෙකු වැනි ඔබේ මෙහෙකරු මා ඒ බරපතල දේ කරන්නට ඔහු කවරෙක් දැ”යි ඇසී ය. එලිෂා කතා කොට, “ඔබ සිරියාවේ රජ වන බව සමිඳාණන් වහන්සේ මට පෙන්වා තිබේ ය”යි කී ය.</verse>
				<verse number="14">ඔහු එලිෂා වෙතින් ගොස් තමාගේ ස්වාමියා ළඟට පැමිණි විට, “එලිෂා ඔබට කීවේ කුමක් දැ”යි ඔහුගෙන් ඇසුවේ ය. “සැබැවින් ම ඔබ සුව වනු ඇත කියා මට කීයේ යැ”යි ඔහු පැවසී ය.</verse>
				<verse number="15">පසු දා ඔහු දළ රෙද්දක් ගෙන වතුරේ පොඟවා ඔහුගේ මුහුණ පිට එළා තැබී ය. එයින් ඔහු මැරුණේ ය. හසායෙල් ඔහු වෙනුවට රජ විය.</verse>
				<verse number="16">ඉශ්රායෙල්වරුන්ගේ රජ වූ ආහබ්ගේ පුත් ජෝරාම්ගේ පස් වන අවුරුද්දේ ජෙහෝෂාපාට් ජුදාහි රජ ව සිටිද්දී ජුදාහි රජ වූ ජෙහෝෂාපාට්ගේ පුත් ජෙහෝරාම් රජ විය.</verse>
				<verse number="17">ඔහු තිස්දෑවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමේ අට අවුරුද්දක් රජකම් කෙළේ ය.</verse>
				<verse number="18">ආහබ්ගේ වංශය කළ පරිදි ඔහු ඉශ්රායෙල් රජුන්ගේ අඩි පාරේ ගමන් කෙළේ ය. මන්ද, ඔහු ආහබ්ගේ දුව සරණ පාවාගෙන සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.</verse>
				<verse number="19">එසේ වී නමුත්, සමිඳාණන් වහන්සේ තමන්ගේ මෙහෙකරු වූ දාවිත්ට ඔහුගේ පෙළපතින් එන කෙනෙකු නොනිවෙන පහනක් මෙන් රට පාලනය කරන බවට පොරොන්දු වූ ලෙස ඔහු නිසා ජුදා රාජ්‍යය නැති කරන්නට අකමැති වූ සේක.</verse>
				<verse number="20">ඔහුගේ කාලයේ දී ඒදොම්වරු කැරලි ගසා, ජුදාගේ පාලනය යටතෙන් අහක් ව තමන්ට රජෙකු පත් කරගත්හ.</verse>
				<verse number="21">එවිට ජෝරාම් තමාගේ සියලු රථ රැගෙන ශායීර් නම් ස්ථානයට ගොස්, රෑ කාලයේ නැඟිට තමා වටකරගෙන සිටි ඒදොම්වරුන්ටත්, රථාධිපතීන්ටත් පහර දුන්නේ ය. එකල සෙනඟ තමන්ගේ කූඩාරම්වලට පලා ගියහ.</verse>
				<verse number="22">මෙසේ ඒදොම්වරුන් අද දක්වා ජුදාවරුන්ගේ රාජ්‍ය පාලනය ඉවත දමා තිබේ. එම කාලයේ දී ලිබ්නාවරු ද කැරලි ගැසූ හ.</verse>
				<verse number="23">ජෙහෝරාම්ගේ අනික් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?</verse>
				<verse number="24">ජෙහෝරාම් මියගිය පසු තමාගේ පියවරුන් සමඟ දාවිත්ගේ නුවර තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් අහසියා ඔහු වෙනුවට රජ විය.</verse>
				<verse number="25">ඉශ්රායෙල් රජු වූ ආහබ්ගේ පුත් ජෝරාම්ගේ දොළොස් වන අවුරුද්දේ දී ජුදාහි රජු වන ජෙහෝරාම්ගේ පුත් අහසියා රජ විය.</verse>
				<verse number="26">අහසියා විසිදෑවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමේ අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම අතලියා ය. ඈ ඉශ්රායෙල් රජු වූ ඔම්රිගේ දුවක් ය.</verse>
				<verse number="27">ඔහු ආහබ්ගේ වංශය ගිය මාර්ගයේ ගමන් කරමින් ආහබ්ගේ වංශය කළ ලෙස සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. විවාහයෙන් ඔහු ආහබ්ගේ පවුලට බෑණා විය.</verse>
				<verse number="28">ඔහු ආහබ්ගේ පුත් ජෝරාම් සමඟ සිරියාවේ රජු වූ හසායෙල්ට විරුද්ධ ව රාමොත්-ගිලියද්හි යුද්ධ කරන්නට ගියේ ය. සිරියන්වරු ජෝරාම්ට තුවාළ කළෝ ය.</verse>
				<verse number="29">ජෝරාම් රජ තමා සිරියාවේ රජු වන හසායෙල්ට විරුද්ධ ව යුද්ධ කරද්දී රාමාහි දී සිරියන්වරුන් ඔහුට කළ තුවාළ ජෙශ්‍රෙයෙල්හි සුව කරගන්න පිණිස හැරී ආවේ ය. ජුදාහි රජු වූ ජෙහෝරාම්ගේ පුත් අහසියා ද ආහබ්ගේ පුත් ජෝරාම් රෝගාතුර ව සිටි නිසා ඔහු බලන්නට ජෙශ්‍රෙයෙල්ට ගියේ ය.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">දිවැසිවර එලිෂා දිවැසිවර කණ්ඩායමෙන් කෙනෙකුට අඬගසා, “ඔබ ඉඟටිය බැඳගෙන, මේ තෙල් කුළාව අතින් රැගෙන රාමොත්-ගිලියද්ට යන්න.</verse>
				<verse number="2">ඔබ එහි පැමිණි කල නිම්ෂීගේ පුත්‍රයා වන ජෙහෝෂාපාට්ගේ පුත් ජේහු සොයාගෙන, ඔහුගේ සහෝදරයන් අතරෙන් ඔහු කැඳවාගෙන ඇතුළු කාමරයකට ගොස්,</verse>
				<verse number="3">තෙල් කුළාව රැගෙන ඔහුගේ හිසේ වත්කොට, ‘මම නුඹ ඉශ්රායෙල්වරුන්ගේ රජු ලෙස අභිෂේක කෙළෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි කී පසු, දොර හැර ප්‍රමාද නොවී යන්නැ”යි කී ය.</verse>
				<verse number="4">මෙසේ ඒ තරුණ දිවැසිවරයා රාමොත්-ගිලියද්ට ගියේ ය.</verse>
				<verse number="5">ඔහු ඇතුළු වන විට සේනාපතියෝ වාඩි වී සිටියහ. එවිට ඔහු, “සේනාපතිතුමෙනි, ඔබට වචනයක් කියන්න මට තිබේ ය”යි කී ය. “අප සියල්ලන්ගෙන් කවරෙකුට දැ”යි ජේහු ඇසී ය. “සේනාපතිතුමෙනි, ඔබට ය”යි ඔහු කී ය.</verse>
				<verse number="6">ඔහු නැඟිට කාමරය ඇතුළට ගිය විට ඒ තරුණයා ඔහුගේ හිසේ තෙල් වත් කොට, “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘සමිඳාණන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ රජු ලෙස ඔබ අභිෂේක කෙළෙමි.</verse>
				<verse number="7">මාගේ මෙහෙකරුවන් වූ දිවැසිවරුන් මැරීම ගැන ද සමිඳාණන් වහන්සේගේ සියලු මෙහෙකරුවන් මැරීම ගැන ද මා ජෙශෙබෙල්ගෙන් පළිගන්න පිණිස නුඹේ ස්වාමීන් වූ ආහබ්ගේ වංශයට පහර දෙන්න.</verse>
				<verse number="8">ආහබ්ගේ මුළු වංශය විනාශ වන්නේ ය. ඉශ්රායෙල්වරුන් අතරේ දාසයන් ද නිර්දාසයන් ද වන ආහබ්ගේ සියලු පිරිමින් මරාදමා,</verse>
				<verse number="9">ආහබ්ගේ වංශය නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ වංශය මෙන් ද අහියාගේ පුත් බාෂාගේ වංශය මෙන් ද වන්නට සලස්වන්නෙමි.</verse>
				<verse number="10">බල්ලෝ ජෙශ්‍රෙයෙල් නම් බිම් කොටසේ දී ජෙශෙබෙල් කන්නෝ ය. ඈ භූමදාන කරන්නට කිසිවෙක් නොසිටින්නේ ය.’ “යි ඔහුට කියා දොර ඇර ඔහු යන්න ගියේ ය.</verse>
				<verse number="11">එකල ජේහු තම ස්වාමියාගේ සේවකයන් වෙත ආවේ ය. එක් කෙනෙක් කතා කොට, “සියල්ල හොඳින් තේරුණා ද? ඒ පිස්සා ඔබ ළඟට ආවේ කුමක්නිසා දැ”යි ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “ඒ මනුෂ්‍යයාත්, ඔහුගේ කතාවත් ඔබ දන්නවා නොවේ දැ”යි ඔවුන්ට කී ය.</verse>
				<verse number="12">“අපි එය නොදනිමු. අපට එය කියන්නැ”යි ඔව්හු කී හ. ඔහු කතා කොට, “ ‘මම ඉශ්රායෙල්වරුන්ගේ රජු ලෙස නුඹ අභිෂේක කෙළෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි මේ හැටියට මට කීවේ ය”යි දැන්වී ය.</verse>
				<verse number="13">එවිට ඔව්හු ඉක්මන් ව එකිනෙකා තම තමාගේ වස්ත්‍රය රැගෙන ඔහුට යටින් ඒවා පඩි පෙළ මත එළා හොරණෑ පිඹ, “ජේහු දැන් රජ යැ”යි කී හ.</verse>
				<verse number="14">මෙසේ නිම්ෂිගේ පුත් ජෙහෝෂාපාට්ගේ පුත්‍ර වන ජේහු, ජෝරාම්ට විරුද්ධ ව කුමන්ත්‍රණය කෙළේ ය. එකල ජෝරාම් ද සියලු ඉශ්රායෙල් සෙනඟ ද සිරියාවේ රජ වූ හසායෙල්ට විරුද්ධ ව රාමොත්-ගිලියද් මුර කරමින් සිටියහ.</verse>
				<verse number="15">එහෙත්, ජෝරාම් රජ තමා සිරියාවේ රජු වන හසායෙල්ට විරුද්ධ ව යුද්ධ කරන අතර සිරියන්වරුන් විසින් තමාට කරන ලද තුවාළ සුව කරගන්න පිණිස ජෙශ්‍රෙයෙල්ට හැරී අවුත් සිටියේ ය. තවද, ජේහු කතා කොට, “ඔබ කැමැති නම් ජෙශ්‍රෙයෙල්ට ගොස් දන්වන පිණිස නුවරින් කාට වත් ගැළවී යන්න ඉඩ නොදෙන්නැ”යි කියා</verse>
				<verse number="16">රථයට නැඟ ජෙශ්‍රෙයෙල්ට ගියේ ය. කුමක් නිසා ද ජෝරාම් එහි ඔත්පල ව සිටියේ ය. ජුදාහි රජ වූ අහසියා ද ජෝරාම් බලන්නට එහි අවුත් සිටියේ ය.</verse>
				<verse number="17">ජෙශ්‍රෙයෙල්හි කොටුව උඩ සිටි මුරකාරයා ජේහුගේ හමුදාව එනු දැක, “හමුදාවක් මට පෙනේ ය”යි කී ය. ජෝරාම් ද, “ඔබ අසරුවෙකුට අඬගසා ‘ඔබ එන්නේ සාමදානයෙන් දැ’යි අසන්නට ඔවුන්ගේ පෙරමඟට යවන්නැ”යි කී ය.</verse>
				<verse number="18">මෙසේ එක් කෙනෙක් අශ්වයෙකු පිට නැඟී ඔහුගේ පෙරමඟට ගොස්, “ ‘ඔබ එන්නේ සාමදානයෙන් දැ’යි රජ අසන්නේ ය”යි කී ය. ජේහු ද, “සාමදානයෙන්; ඔබට ඇති වැඩය කුමක් ද? හැරී මා පස්සෙන් එන්නැ”යි කී ය. මුරකාරයා කතා කොට, “පණිවුඩකාරයා ඔවුන් ළඟට පැමිණි නමුත් ආපසු නොඑන්නේ ය”යි කී ය.</verse>
				<verse number="19">එවිට ඔහු දෙ වන අසරුවෙකු යැවී ය. ඔහු ද ඔවුන් ළඟට අවුත්, “ ‘ඔබ එන්නේ සාමදානයෙන් ද’ කියා රජ අසන්නේ ය”යි කී ය. ජේහු ද, “සාමදානයෙන්; ඔබට ඇති වැඩය කුමක් ද? හැරී මා පස්සෙන් එන්නැ”යි කී ය.</verse>
				<verse number="20">මුරකාරයා ද, “ඔහු ඔවුන් ළඟට පැමිණි නමුත් නැවත නොඑන්නේ ය. රථය පදවන්නා එය පදවන්නේ නම්, නිම්ෂිගේ පුත් ජේහුගේ මෙහෙයවීම මෙන් ය. කුමක් නිසා ද ඔහු උමතුවෙන් මෙන් පදවන්නේ ය”යි දැන්නුවේ ය.</verse>
				<verse number="21">ජෝරාම් ද කතා කොට, “රථය සූදානම් කරන්නැ”යි කී ය. ඔව්හු ඔහුගේ රථය සූදානම් කළෝ ය. ඉශ්රායෙල් රජ වූ ජෝරාම් ද ජුදාහි රජ වූ අහසියා ද තම තමාගේ රථයට නැඟී පිටත් වී ජේහුගේ පෙරමඟට ගොස්, ජෙශ්‍රෙයෙලීය නාබොත්ගේ බිම් කොටසේ දී ඔහුට සම්මුඛ වූ හ.</verse>
				<verse number="22">ජෝරාම්, ජේහු දුටු විට, “ජේහු, ඔබ එන්නේ සාමදානයෙන් දැ”යි ඇසී ය. ඔහු උත්තර දෙමින්, “ඔබේ මව වන ජෙශෙබෙල්ගේ වේශ්‍යාකම් ද ඇගේ මායම් ද මෙපමණ තිබිය දී මොන සාමදානයක් දැ”යි ඇසී ය.</verse>
				<verse number="23">එවිට ජෝරාම් හැරී පලා යමින්, “අහෝ අහසියා, මෙය ද්‍රෝහිකමකි” කියා අහසියාට කී ය.</verse>
				<verse number="24">එහෙත්, ජේහු මුළු ශක්තියෙන් දුන්න ඇද ජෝරාම්ගේ පිට මැදට විද්දේ ය. ඊ ගහ ඔහුගේ හෘදය පසා කරගෙන පිට විය. ඔහු රථයෙහි ඇද වැටුණේ ය.</verse>
				<verse number="25">එවිට ජේහු තමාගේ ආරක්ෂක භටයා වන බිද්කර්ට කතා කොට, “ඔහු රැගෙන ජෙශ්‍රෙයෙලීය නාබොත්ගේ කෙතට දමන්න, මන්ද, මාත්, ඔබත් එක් ව ඔහුගේ පිය වූ ආහබ් පස්සෙන් අසුන් පිට ගිය විට සමිඳාණන් වහන්සේ ඔහුට විරුද්ධ ව දුන් තීන්දුව සිහි කරන්න.</verse>
				<verse number="26">එනම්, සැබැවින් නාබොත්ගේ ද ඔහුගේ පුත්‍රයන්ගේ ද ලේ ඊයේ දුටුවෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. තවද, මම මේ කෙතේ දී ඔබට විපාක දෙන්නෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. එබැවින් ඔහු රැගෙන සමිඳාණන් වහන්සේ වදාළ ලෙස මේ කෙතෙහි දමන්නැ”යි කී ය.</verse>
				<verse number="27">ජුදාහි රජු වන අහසියා ඒ දැක බෙත්-හගාක් නම් පාර දිගේ පලා ගියේ ය. ජේහු ඔහු ලුහුබැඳ ගොස්, “ඔහුටත් පහර දෙන්නැ”යි කී ය. එසේ ඔව්හු ඉබ්ලියාම් ළඟ ගූර් නම් බෑවුමේ දී ඔහු රථයේ සිටින විට ඔහුට පහර දුන්හ. ඔහු මෙගිද්දෝ‍ මිටියාවතට පලා ගොස් එහි දී මළේ ය.</verse>
				<verse number="28">ඔහුගේ සේවකයෝ ඔහු රථයකින් ජෙරුසලමට ගෙන ගොස් දාවිත්ගේ නුවර ඔහුගේ පියවරුන් සමඟ ඔහුගේ සොහොන් ගෙයි තැන්පත් කළහ.</verse>
				<verse number="29">ආහබ්ගේ පුත් ජෝරාම්ගේ එකොළොස් වන අවුරුද්දේ දී අහසියා ජුදා දේශයේ රජ විය.</verse>
				<verse number="30">ජේහු ජෙශ්‍රෙයෙල්ට ආ කල ජෙශෙබෙල් ඒ අසා, ඇගේ ඇස්වල අඳුන් ගා, හිස සරසාගෙන කවුළුවෙන් බැලුවා ය.</verse>
				<verse number="31">ජේහු දොරටුවෙන් ඇතුළු වන විට ඈ කතා කොට, “ස්වකීය ස්වාමියා මැරූ සිම්රි, ඔබ එන්නේ සාමදානයෙන් දැ”යි ඇසුවා ය.</verse>
				<verse number="32">ඔහු කවුළුව දෙස බලා, “මාගේ පක්ෂයට සිටින්නේ කවරෙක් දැ”යි ඇසී ය. එවිට නපුංසකයන් දෙදෙනෙක් ඔහු දෙස බැලුවෝ ය.</verse>
				<verse number="33">“ඈ පහළට හෙළන්නැ”යි ඔහු කී ය. ඔව්හු ඈ පහළට හෙළුවෝ ය. ඇගේ ලේවලින් මඳක් බිත්තියේත්, අශ්වයන් පිටත් ඉසිණි.</verse>
				<verse number="34">ඔහු ඇය පාගාගෙන අසුපිටින් ගියේ ය. ඔහු ඇතුළු වී, කා බී, “ඒ සාපලත් ස්ත්‍රිය රජෙකුගේ දුවක නිසා සලකා බලා ඈ තැන්පත් කරන්නැ”යි කී ය.</verse>
				<verse number="35">ඔව්හු ඈ තැන්පත් කරන්නට ගිය විට ඇගේ හිස් කබල ද පාද ද දෑත ද මිස ඇගෙන් වෙන කිසිවක් සම්බ නොවී,</verse>
				<verse number="36">හැරී ගොස් ඔහුට දැන්නූ හ. ඔහු කතා කොට, “මේ සමිඳාණන් වහන්සේ තමන්ගේ මෙහෙකරු වූ තිෂ්බි ජාතික එලියා ලවා කියෙවූ වචනය ය: ‘ජෙශ්‍රෙයෙල් පෙදෙසේ දී බල්ලෝ ජෙශෙබෙල්ගේ මාංස කන්නෝ ය.</verse>
				<verse number="37">මේ ජෙශෙබෙල් යයි කියන්න බැරි වන ලෙස ජෙශෙබෙල්ගේ මළකඳ ජෙශ්‍රෙයෙල් පෙදෙසෙහි පොළොව මතුපිට කසළ මෙන් වන්නේ ය. කියා වදාළ සේකැ’ “යි කීවේ ය.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">ආහබ්ගේ පුත්‍රයන් සැත්තෑදෙනෙක් සමාරියේ සිටියහ. ජේහු ලියුම් ලියා සමාරියේ සිටි ජෙශ්‍රෙයෙල්හි අධිපතීන් වන ප්‍රජා මූලිකයන්ට ද ආහබ්ගේ දරුවන් ඇතිදැඩි කළ භාරකාරයන්ට ද යැවී ය.</verse>
				<verse number="2">එහි ලියා තිබුණේ, “ඔබේ ස්වාමියාගේ පුත්‍රයන් ඔබ ළඟ සිටින නිසාත්, රථ සහ අශ්වයන් ද පවුරු ඇති නුවරක් ද යුද්ධායුධ ද තිබෙන නිසාත් මේ ලියුම ඔබට ලැබුණු වහා ම</verse>
				<verse number="3">ඔබේ ස්වාමියාගේ පුත්‍රයන්ගෙන් ඉතා හොඳ‍ සුදුසු තැනැත්තා තෝරාගෙන, ඔහුගේ පියාගේ සිංහාසනයේ හිඳුවා ඔබේ ස්වාමියාගේ වංශය උදෙසා සටන් කරන්න” යනු යි.</verse>
				<verse number="4">එහෙත්, ඔව්හු අතිශයින් බිය ව කතා කොට, “බලන්න, ඒ රජවරුන් දෙදෙනාට ඔහු ඉදිරිපිට සිටින්නට නුපුළුවන් විය. එසේ නම්, අපි කෙසේ සිටිමු දැ”යි ඇසුවෝ ය.</verse>
				<verse number="5">එවිට මාලිගාවේ ප්‍රධානියා ද නගරාධිපතියා ද ප්‍රජා මූලිකයෝ ද රාජ කුමාරයන් ඇතිදැඩි කළ අය ද ජේහු වෙත පණිවුඩයක් යවමින්, “අපි ඔබේ මෙහෙකරුවෝ ය, ඔබ අපට අණ කරන සියල්ල කරන්නෙමු‍; කිසිවෙකු රජ කර නොගන්නෙමු‍. ඔබට යහපත් ව පෙනෙන හැටියට කළ මැනවැ”යි කී හ.</verse>
				<verse number="6">එවිට ඔහු දෙ වන වර ඔවුන්ට ලියුමක් ලියා, “ඔබ මාගේ පක්ෂයට සිට, මාගේ හඬට ඇහුම්කන් දෙන්නහු නම්, ඔබේ ස්වාමියාගේ පුත්‍රයන්ගේ හිස් රැගෙන හෙට මේ වේලාවට මා වෙත ජෙශ්‍රෙයෙල් නගරයට එන්නැ”යි කියා හැරියේ ය. රජුගේ පුත්‍රයන් හැත්තෑදෙනා වනාහි ඔවුන් ඇතිදැඩි කළ නුවර ප්‍රධානීන් වෙත සිටියෝ ය.</verse>
				<verse number="7">තවද, ඒ ලියුම ඔවුන්ට ලැබුණු කල ඔව්හු රජුගේ පුත්‍රයන් අල්ලා, හැත්තෑදෙනෙකු වූ ඔවුන් මරා, ඔවුන්ගේ හිස් පැස්වල දමා ජෙශ්‍රෙයෙල්හි ඔහු වෙත යැවුවෝ ය.</verse>
				<verse number="8">එවිට පණිවුඩකාරයෙක් අවුත්, “රජුගේ පුත්‍රයන්ගේ හිස් ගෙනවුත් තිබේ ය”යි ඔහුට දැන්වී ය. “හෙට වන තුරු ඒවා ගොඩවල් දෙකක් කොට දොරටුව ළඟ තබන්නැ”යි ඔහු කී ය.</verse>
				<verse number="9">පසු දා උදෑසන ඔහු පිටතට ගොස් සිටගෙන, මුළු සෙනඟට කතා කොට, “ඔබ නිර්දෝ‍ෂ ය. මම මාගේ ස්වාමියාට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට ඔහු මැරීමි. එහෙත්, මොවුන් සියල්ලන් මැරුවේ කවරෙක් ද?</verse>
				<verse number="10">එබැවින් සමිඳාණන් වහන්සේ ආහබ්ගේ වංශයට විරුද්ධ ව වදාළ තමන්ගේ වචනයෙන් කිසිවක් නිෂ්ඵල නොවන බව දැනගන්න. සමිඳාණන් වහන්සේ තමන්ගේ මෙහෙකරු වූ එලියා ලවා කියෙවූ දේ ඉෂ්ට කළ සේකැ”යි කී ය.</verse>
				<verse number="11">මෙසේ ජේහු ජෙශ්‍රෙයෙල්හි ආහබ්ගේ වංශයෙන් ඉතිරි ව සිටි සියල්ලන් ද ඔහුගේ සියලු ප්‍රධානීන් ද ඔහුගේ කිට්ටු හිතවතුන් ද ඔහුගේ පූජකයන් ද එක් කෙනෙකු වත් ඉතිරි නොකර මැරවී ය.</verse>
				<verse number="12">ජේහු නැඟිට සමාරියට යන්න පිටත් විය. ඔහු මඟ දී එඬේරුන්ගේ බෙත්-එකෙද් නම් ස්ථානයට ළං ව සිටිය දී,</verse>
				<verse number="13">ජුදාහි රජු වන අහසියාගේ සහෝදරයන් ඔහුට සම්බ වී, “ඔබ කවරහු දැ”යි ඇසී ය. “අපි අහසියාගේ සහෝදරයෝ ය. රජුගේ පුත්‍රයන්ටත්, බිසවගේ පුත්‍රයන්ටත් ආචාර කරන්න යමු”යි ඔව්හු කී හ.</verse>
				<verse number="14">ඔහු ද, “ඔවුන් පණපිටින් අල්ලාගන්නැ”යි කී ය. ඔව්හු ඔවුන් පණපිටින් අල්ලාගෙන මිනිසුන් සතළිස්දෙදෙනෙකු වන ඔවුන් බෙත්-එකෙද් නම් ළිඳ ළඟ දී මැරූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඔහු ඉතිරි කෙළේ නැත.</verse>
				<verse number="15">ඔහු එතැනින් ගිය විට ඔහුගේ පෙරමඟට ආ රේකාබ්ගේ පුත් ජෙහෝනාදාබ් සම්බ වී ඔහුට ආචාර කොට, “මාගේ සිත ඔබේ සිත කෙරේ අවංක ව තිබෙන්නාක් මෙන් ඔබේ සිතත් අවංක දැ”යි ඇසුවේ ය. ජෙහෝනාදාබ්, “එසේ ය”යි කී විට, “එසේ නම් මට ඔබේ අත දෙන්නැ”යි ඔහු කීවේ ය. ඔහු තමාගේ අත ඔහුට දුන්නේ ය.</verse>
				<verse number="16">එවිට ජේහු තමාගේ රථයට ඔහු නංවාගෙන, කතා කොට, “සමිඳාණන් වහන්සේ උදෙසා වන මාගේ උද්‍යෝගය බලන්නට මා සමඟ එන්නැ”යි කී ය. මෙසේ ඔව්හු ස්වකීය රථයෙහි ඔහු නංවාගෙන ගියෝ ය.</verse>
				<verse number="17">ඔව්හු සමාරියට ආ කල සමිඳාණන් වහන්සේ එලියා ලවා කී වචනය ලෙස සමාරියෙහි ආහබ්ගේ පවුලේ ඉතිරි ව සිටි සියල්ලන් ඔහුගේ වංශය විනාශ වන තුරු මරාදැමූ හ.</verse>
				<verse number="18">තවද, ජේහු මුළු සෙනඟ රැස් කර, ඔවුන්ට කතා කොට, “ආහබ් බාල් දෙවියාට ස්වල්ප වශයෙන් සේවය කෙළේ ය. එහෙත්, ජේහු ඔහුට බොහෝ සෙයි‍න් සේවය කරන්නේ ය.</verse>
				<verse number="19">එබැවින් බාල්ගේ සියලු දිවැසිවරුන් ද ඔහු අදහන සියල්ලන් ද සියලු පූජකයන් ද එක් කෙනෙකු වත් නෑර මා වෙත කැඳවාගෙන එන්න. මන්ද, බාල්ට මහා පූජාවක් ඔප්පු කරන්නට මට වුවමනා වී තිබේ. නොඑන සියල්ලෝ ම මරණයට පත් වන්නෝයැ”යි කී ය. එහෙත්, ජේහු බාල් අදහන්නන් නැති කරන පිණිස ප්‍රයෝගයෙන් එසේ කෙළේ ය.</verse>
				<verse number="20">තවද, ජේහු, “බාල් උදෙසා පවත්වන නමස්කාරයට සියලු දෙන රැස්වීම පිණිස නියම කරන්නැ”යි කී ය. ඔව්හු එසේ ප්‍රසිද්ධ කළහ.</verse>
				<verse number="21">එසේ ජේහු ඉශ්රායෙල් රට මුළුල්ලේ ම පණිවුඩ යැවූ විට බාල්ගේ සේවකයන්ගෙන් එක් කෙනෙකු වත් නෑවිත් නොසිට, සියල්ලෝ ම බාල්ගේ දේවාලයට ඇතුළු වූ හ. බාල්ගේ දේවාලය එක් කෙළවරක පටන් අනෙක් කෙළවර දක්වා පිරී ගියේ ය.</verse>
				<verse number="22">ඔහු වස්ත්‍ර ගබඩාවේ මුලාදෑනියාට කතා කොට, “බාල් අදහන සියල්ලන්ට වස්ත්‍ර ගෙනෙ‍න්නැ”යි කීවේ ය. ඔහු ද වස්ත්‍ර ගෙනාවේ ය.</verse>
				<verse number="23">ජේහු ද රේකාබ්ගේ පුත් ජෙහෝනාදාබ් ද බාල්ගේ දේවාලයට ගොස්, “බාල් අදහන සියල්ලන් මිස, මෙහි ඔබ සමඟ සමිඳාණන් වහන්සේගේ සේවකයන් කිසිවෙකු නොසිටින ලෙස සොයා බලන්නැ”යි බාල් අදහන්නන්ට කී ය.</verse>
				<verse number="24">ඔව්හු යාග ද දවන පූජා ද ඔප්පු කරන්නට ඇතුළට ගියහ. එවිට ජේහු මිනිසුන් අසූ දෙනෙකු පිටත සිටුවා, “මා විසින් ඔබ අතට අසු කර දෙනු ලබන මිනිසුන්ගෙන් කිසිවෙකු ගැළවී ගියොත්, ඔහු යන්නට අරින අයගේ ප්‍රාණය ඔහුගේ ප්‍රාණය වෙනුවට දෙන්න වේ ය”යි කියා තිබිණි.</verse>
				<verse number="25">තවද, ජේහු දවන යාග පූජාව පුදා නිම කළ කෙණෙහි ම මුරකාරයන්ටත්, ඔවුන්ගේ මුලාදෑනීන්ටත් කතා කොට, “ඇතුළට ගොස් කාට වත් පිටතට එන්න නෑර ඔවුන් මරන්නැ”යි කී ය. එසේ මුරකාරයෝ ද මුලාදෑනීහු ද කඩුවෙන් ඔවුන් මරා පිටතට දමා, බාල්ගේ දේවාලයේ මළුව දක්වාත් ගියෝ ය.</verse>
				<verse number="26">තවද, ඔව්හු බාල්ගේ දේවාලයේ ශිලාස්තම්භය පිටතට ගෙනවුත් පුළුස්සාදමා,</verse>
				<verse number="27">බාල්ගේ පූජාසනයත් බාල්ගේ දේවාලයත් බිඳ දමා අද දක්වා තිබෙන හැටියට එය වැසිකිළියක් කළහ.</verse>
				<verse number="28">මෙසේ ජේහු ඉශ්රායෙල්වරුන් අතරෙන් බාල් නැති කරදැමී ය.</verse>
				<verse number="29">එසේ නමුත්, බෙතෙල්හි ද දාන්හි ද තිබූ රන් වස්සන් කරණකොටගෙන ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැසූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාපවලින් ජේහු ඉවත් නො වී ය.</verse>
				<verse number="30">සමිඳාණන් වහන්සේ ජේහුට කතා කොට, “නුඹ මාගේ ඇස් හමුයෙහි හරි දේ කිරීමෙන් යුතු ලෙස ක්‍රියා කොට, මාගේ සිතේ තිබුණ සියල්ල ප්‍රකාර ආහබ්ගේ වංශයට කළ බැවින්, නුඹේ පුත්‍රයෝ සතර වන පරම්පරාව දක්වා ඉශ්රායෙල් සිංහාසනයෙහි හිඳ ගන්නෝ ය”යි වදාළ සේක.</verse>
				<verse number="31">එහෙත්, ජේහු තමාගේ මුළු සිතින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව ප්‍රකාර හැසිරෙන්නට ප්‍රවේසම් නො වී ය. ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැසූ ජෙරොබෝවම්ගේ පාපවලින් ඔහු ඉවත් නො වී ය.</verse>
				<verse number="32">එකල්හි සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් දේශයේ ප්‍රමාණය කුඩා කරන්නට පටන්ගත් සේක.</verse>
				<verse number="33">හසායෙල් ජොර්දාන්ට නැගෙනහිරින් තිබෙන ඉශ්රායෙල්වරුන්ගේ සියලු පළාත් වූ අර්ණොන් මිටියාවත ළඟ වූ අරෝයෙර් පටන් තිබෙන මුළු ගිලියද් දේශයෙහිත් බාෂාන්හිත් විසූ ගාද්වරුන්ටත්, රූබන්වරුන්ටත්, මනස්සේවරුන්ටත් පහර දුන්නේ ය.</verse>
				<verse number="34">ජේහුගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඔහුගේ සියලු බලවත්කම් ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?</verse>
				<verse number="35">ජේහු මියගිය පසු සමාරියෙහි තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් ජෙහෝවාහාස් ඔහු වෙනුවට රජ විය.</verse>
				<verse number="36">ජේහු සමාරියෙහි ඉශ්රායෙල්වරුන් පාලනය කළ කාලය විසිඅට අවුරුද්දකි.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">අහසියාගේ මව වූ අතලියා ඇගේ පුත්‍රයා මළ බව දැක නැඟිට මුළු රාජ වංශය විනාශ කළා ය.</verse>
				<verse number="2">එහෙත්, ජෝරාම් රජුගේ දූ වූ අහසියාගේ සහෝදරී වූ ජෙහෝෂෙබා තොමෝ මරනු ලැබූ රජුගේ පුත්‍රයන් අතරෙන් අහසියාගේ පුත් ජෝවාෂ් රැගෙන ඔහුගේ කිරි මව සමඟ යහන් ගෙයි රහසිගත ව තැබුවා ය. ඔහු මරනු නොලබන ලෙස අතලියාගෙන් ඔහු සඟවන ලදී.</verse>
				<verse number="3">ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ඈ සමඟ අවුරුදු හයක් සැඟවී සිටියේ ය. අතලියා දේශයෙහි රජකම් කළා ය.</verse>
				<verse number="4">සත් වන අවුරුද්දේ දී ජෙහෝයාදා පණිවුඩ යවා ආරක්ෂක භටයන්ගේ ද රජ මාලිගාවේ මුරකාරයන්ගේ ද ශතාධිපතීන් ගෙන්වා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දී තමා ළඟට පමුණුවාගෙන ඔවුන් සමඟ ගිවිසුමක් කොට, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දී ඔවුන්ගෙන් දිවුරුම් ගෙන, රජුගේ පුත්‍රයා ඔවුන්ට පෙන්වා කතා කොට,</verse>
				<verse number="5">“ඔබ කරන්නට ඕනෑ දේ මේ ය: සබත් දවසේ දී ඇතුළු වන ඔබෙන් තුනෙන් කොටසක් රජ ගෙදර මුරට සිට,</verse>
				<verse number="6">තුනෙන් කොටසක් සූර් දොරටුවේ ද, තුනෙන් කොටසක් මුරකාරයන්ට එපිටින් තිබෙන දොරටුවේ ද සිටින්න. මෙසේ මාලිගාව මුරකර ආරක්ෂා කරන්න.</verse>
				<verse number="7">ඔබෙන් කොටස් දෙකක් වන සබත් දවසේ දී පිටත යන සියල්ලන් ම රජු ළඟ සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි මුරකරන්න.</verse>
				<verse number="8">ඔබ එක් එක්කෙනා තම තමාගේ ආයුධ අතින් ගෙන රජු වටකර සිට පෙළ කඩාගෙන ඒමට වෑයම් කරන තැනැත්තා මරන්න ආ යුතු ය. රජු යන එන විට ඔබ ඔහු සමඟ සිටින්නැ”යි ඔවුන්ට අණ කෙළේ ය.</verse>
				<verse number="9">ශතාධිපතියෝ ජෙහෝයාදා පූජකයා අණ කළ සියල්ල ලෙස කරමින්, එකිනෙකා තම තමාගේ මිනිසුන් එනම්, සබත් දවසේ දී ඇතුළු වන තැනැත්තන් සබත් දවසේ දී පිටත යන තැනැත්තන් ද සමඟ කැඳවාගෙන ජෙහෝයාදා පූජකයා ළඟට ආවෝ ය.</verse>
				<verse number="10">පූජකයා සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබූ දාවිත් රජුගේ හෙල්ල හා පලිස් ශතාධිපතීන්ට දුන්නේ ය.</verse>
				<verse number="11">මුරකාරයෝ එක් එක්කෙනා තම තමාගේ අතින් ආයුධ රැගෙන මාලිගාවේ දකුණු පැත්තේ පටන් වම් පැත්ත දක්වා පූජාසනයත්, මාලිගාවත් ළඟ රජු වටකර සිටියහ.</verse>
				<verse number="12">එවිට ඔහු රජුගේ පුත්‍රයා පිටතට ගෙනවුත්, ඔහුගේ හිස පිට ඔටුන්න තබා ව්‍යවස්ථාව ඔහුට දුන්නේ ය. ඔව්හු රජකමට ඔහු අභිෂේක කොට අත්පොළසන් දී, “රජතුමා සැරදේ වා”යි කීවෝ ය.</verse>
				<verse number="13">අතලියා තොමෝ මුරකාරයන්ගේත්, සෙනඟගේත් ඝෝෂාව අසා සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සිටි සෙනඟ ළඟට ආවා ය.</verse>
				<verse number="14">ඈ බැලූ විට සිරිත් ප්‍රකාර රජු කණුව ළඟ සිටින බව ද රජු ළඟ අධිපතීන් ද නළාකාරයන් ද සිටින බව ද දේශයේ මුළු සෙනඟ ප්‍රීතියෙන් හොරණෑ පිඹින බව ද දැක හිත් වේදනාවෙන් ඇගේ ඇඳුම් ඉරාගෙන, “ද්‍රෝහිකමකි, ද්‍රෝහිකමකි” කියා මොරගැසුවා ය.</verse>
				<verse number="15">එවිට ජෙහෝයාදා පූජකයා සේනාවේ ප්‍රධානීන් වන ශතාධිපතීන්ට කතා කොට, “ඇය මුර භටයන් අතරෙන් පිටතට ගෙන යන්න. ඈ පස්සේ යමෙකු ආවොත් ඔහු කඩුවෙන් මරන්නැ”යි අණ කෙළේ ය. මන්ද, “සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දී ඈ මරනු නොලැබේ වා”යි පූජකයා කී ය.</verse>
				<verse number="16">මෙසේ ඔව්හු ඈට යන්නට ඉඩ හැරියෝ ය. ඈ රජ ගෙදරට අශ්වයන් ඇතුළු වන මාර්ගයෙන් ගෙන ගිය විට එහි දී මරනු ලැබුවා ය.</verse>
				<verse number="17">සමිඳාණන් වහන්සේගේ සෙනඟ ව සිටින හැටියට සමිඳාණන් වහන්සේ සහ රජු ද සෙනඟ ද අතර ජෙහෝයාදා තෙමේ ගිවිසුමක් කෙළේ ය; එසේ ම රජු ද සෙනඟ ද අතරේත් ගිවිසුමක් කෙළේ ය;</verse>
				<verse number="18">දේශයේ මුළු සෙනඟ බාල්ගේ දේවාලයට ගොස් එය කඩා ඔහුගේ පූජාසනය ද රූප ද මුළුමනින් බිඳදමා, පූජාසනය ඉදිරියෙහි දී බාල්ගේ පූජකයා වූ මත්තාන් මැරුවෝ ය. පූජක තෙමේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට මුලාදෑනීන් පත් කෙළේ ය.</verse>
				<verse number="19">තවද, ඔහු ශතාධිපතීන් ද ආරක්ෂක භටයන් ද මුරකාරයන් ද දේශයේ මුළු සෙනඟ ද පිරිවරා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සිට රජු ගෙන ගොස්, මුරකාරයන්ගේ දොරටු මාර්ගයෙන් රජ ගෙදරට පැමිණියේ ය. එවිට ඔහු රජවරුන්ගේ සිංහාසනයෙහි වාඩි විය.</verse>
				<verse number="20">මෙසේ දේශයේ මුළු සෙනඟ ප්‍රීති වූ හ. නුවර ද සාමකාමී ව තිබිණි.</verse>
				<verse number="21">ඔව්හු අතලියා රජ ගෙදර දී කඩුවෙන් මැරූ හ.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">ජෙහෝවාෂ් රජ වන විට අවුරුදු සතක් වයස් ව සිටියේ ය. ජේහුගේ සත් වන අවුරුද්දේ දී ජෙහෝවාෂ් රජ වී ජෙරුසලමේ සතළිස් අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම ශිබියා ය. ඈ බෙයර්-ෂෙබාහි කෙනෙකි.</verse>
				<verse number="2">ජෙහෝවාෂ් වනාහි ජෙහෝයාදා පූජකයා විසින් තමාට දැනුමැතිකම් දෙන ලද කාලය මුළුල්ලෙහි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය.</verse>
				<verse number="3">එහෙත්, කඳු මත පූජාස්ථාන පහ නොකරන ලදී. ඒ කාලයේත් සෙනඟ කඳු මත පූජාස්ථානවල පූජා ඔප්පු කොට සුවඳ දුම් පිදූ හ.</verse>
				<verse number="4">ජෙහෝවාෂ් පූජකයන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙ‍න ලද කැප කළ දේවල මිල සියල්ල ද එනම්, එක් එක්කෙනා ගෙවිය යුතු මුදල් ද එක් එක්කෙනා තම තමාගේ කැමැත්තෙන් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙ‍න යාග පූජා මුදල් ද,</verse>
				<verse number="5">පූජකයෝ තම තමන් සේවය කළ අයගෙන් ද අඳුනන්නවුන්ගෙන් ද ගනිත් වා, ඔව්හු ද මාලිගාවේ වුවමනා පරිදි කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය කරත් වා”යි කී ය.</verse>
				<verse number="6">එහෙත්, පූජකයන් විසින් ජෙහෝවාෂ් රජුගේ විසිතුන් වන අවුරුද්ද දක්වා මාලිගාවේ කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය නොකරන ලදී.</verse>
				<verse number="7">එවිට ජෙහෝවාෂ් රජ, පූජක වූ ජෙහෝයාදාටත්, අනික් පූජකයන්ටත් හඬගසා, “ඔබ මාලිගාවේ කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය නොකරන්නේ මන් ද? ඉතින් ඔබ සේවය කරන අයගෙන් තවත් මුදල් නොගෙන ඒවා කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය කරන්න භාර දෙන්නැ”යි කී ය.</verse>
				<verse number="8">පූජකයෝ සෙනඟගෙන් තවත් මුදල් නොගන්නටත්, මාලිගාවේ කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය නොකරන්නටත් එකඟ වූ හ.</verse>
				<verse number="9">එහෙත්, පූජක වූ ජෙහෝයාදා පෙට්ටියක් ගෙන පියනේ සිදුරක් සාදා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට එන මාර්ගයේ දකුණු පැත්තේ පූජාසනය ළඟ එය තැබී ය. තවද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනා මුදල් සියල්ල ම දොරටු පාලකයන් වන පූජකයෝ එහි දැමූ හ.</verse>
				<verse number="10">පෙට්ටියේ බොහෝ මුදල් තිබෙන බව දුටු විට රජුගේ ලේකම් ද නායක පූජකයා ද අවුත්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබූ ඒ මුදල් ගණන් කරමින් පසුම්බිවල දමා බැන්දෝ‍ ය.</verse>
				<verse number="11">ගණන් කළ ඒ මුදල් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වැඩ කළාවූ ද කෙරෙවූවා වූ ද තැනැත්තන් අතට දුන්නෝ ය. ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වැඩ කළ වඩුවන්ටත්, ගොඩනඟන්නන්ටත්,</verse>
				<verse number="12">පෙදරේරුවන්ටත්, ගල් කපන්නන්ටත් ඒ මාලිගාවේ කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය කිරීමට ලී සහ කැපූ ගල් මිලයට ගන්න පිණිසත්, මාලිගාව අලුත්වැඩියා කිරීමට ඕනෑ කළ සියල්ල පිණිසත් ඒ මුදල් දුන්නෝ ය.</verse>
				<verse number="13">එයින්, සමිඳාණන් වහන්සේගේ මාලිගාව සඳහා රිදී කුසලාන් ද පහන් කතුරු ද තළි ද හොරණෑ ද යම් රන් භාජන හෝ රිදී භාජන ද නොසාදා,</verse>
				<verse number="14">ඒ මුදල් වැඩ කළ තැනැත්තන්ට දී එයින් සමිඳාණන් වහන්සේගේ මාලිගාව අලුත් වැඩියා කරවූ හ.</verse>
				<verse number="15">තවද, වැඩ කරන්නන්ට දෙන්න මිල භාර දෙනු ලැබූ මිනිසුන් විශ්වාස ලෙස කටයුතු කළ බැවින් ඔවුන්ගෙන් ගණන් තැබීමක් නොගන්න ලදී.</verse>
				<verse number="16">අපරාධ පූජා සහ පාප පූජා උදෙසා දුන් මිල සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙ‍න ලදී. ඒ මිල පූජකයන්ට අයිති විය.</verse>
				<verse number="17">එකල සිරියාවේ රජ වන හසායෙල් අවුත් ගාත් නගරයට විරුද්ධ ව යුද්ධ කොට එය අල්ලාගෙන, ජෙරුසලමටත් විරුද්ධ ව පහර දෙන්නට තීරණය කරගත්තේ ය.</verse>
				<verse number="18">එවිට ජුදාහි රජ වන ජෙහෝවාෂ් තමාගේ පියවරුන් ද ජෙහෝෂාපාට් ද ජෙහෝරාම් ද අහසියා ද යන ජුදාහි රජවරුන් විසින් කැප කරන ලද සියලු ම පඬුරු ද තමාගේ ම පඬුරු ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවලත්, රජ මැදුරේත් තිබූ සියලු රන් ද රැගෙන සිරියාවේ රජු වන හසායෙල්ට යැවී ය. එවිට ඔහු ජෙරුසලමෙන් ඉවත් ව යන්නට ගියේ ය.</verse>
				<verse number="19">ජෝවාෂ්ගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ජුදාහි රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?</verse>
				<verse number="20">ඔහුගේ සේවකයෝ නැඟිට කුමන්ත්‍රණය කොට, සිල්ලාට යන මාර්ගයෙහි තිබෙන මිල්ලෝහි නිවාසයේ දී ජෙහෝවාෂ් මරාදැමූ හ.</verse>
				<verse number="21">ඔහුගේ සේවකයන් වන ෂිමෙයාත්ගේ පුත් ජෝශාකාර් ද ෂොමෙර්ගේ පුත් ජෙහෝශාබාද් ද ඔහුට පහර දී මැරුවෝ ය. ඔව්හු ඔහු දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත් කළෝ ය. ඔහුගේ පුත් අමශියා ඔහු වෙනුවට රජ විය.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">අහසියාගේ පුත් ජුදාහි රජ වූ ජෝවාෂ්ගේ විසිතුන් වන අවුරුද්දේ ජේහුගේ පුත් ජෙහෝවාහාස් සමාරියේ ඉශ්රායෙල්වරුන්ගේ රජ වී දහහත් අවුරුද්දක් රජකම් කෙළේ ය.</verse>
				<verse number="2">ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කරමින් ඉශ්රායෙල්වරුන්ට පව් කිරීමට සැලැසූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාපවලින් ඉවත් නොවී සිටියේ ය.</verse>
				<verse number="3">සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඇවිළී ඒ කාලය මුළුල්ලෙහි උන් වහන්සේ සිරියාවේ රජු වන හසායෙල් අතටත්, හසායෙල්ගේ පුත් බෙන්-හදද් අතටත් ඔවුන් පාවා දුන් සේක.</verse>
				<verse number="4">එහෙත්, ජෙහෝවාහාස් සමිඳාණන් වහන්සේට කන්නලව් කළ විට, සමිඳාණන් වහන්සේ ඔහුට ඇහුම්කන් දුන් සේක. මන්ද, සිරියාවේ රජ ඉශ්රායෙල්වරුන්ට පීඩා කරන විට ඔවුන්ට පැමිණි පීඩාව සමිඳාණන් වහන්සේ දුටු සේක.</verse>
				<verse number="5">තවද, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් සිරියන්වරුන්ගේ පාලන බලයෙන් නිදහස් වන ලෙස ඔවුන්ට ගැළවුම්කාරයෙකු දුන් සේක. ඉශ්රායෙල් ජනයා පෙර ලෙස තමන්ගේ කූඩාරම්වල වාසය කළෝ ය.</verse>
				<verse number="6">එසේ වී නමුත්, ඔව්හු ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැසූ ජෙරොබෝවම්ගේ වංශයේ පාපවලින් ඉවත් නොවී ඒවායෙහි හැසුරුණෝ ය. අෂේරා කප් කණු ද ඒ වන තෙක් සමාරියෙහි තිබිණි.</verse>
				<verse number="7">සිරියාවේ රජු ජෙහෝවාහාස්ගේ සේනාවෙන් ඔහුට ඉතිරි කෙළේ, අසරුවන් පණසක් ද රථ දසයක් ද පාබල සෙනඟ දසදහසක් ද පමණකි. මන්ද, ඔහු ඔවුන් විනාශ කොට, ඔවුන් පයින් පාගාදමා දූවිලි මෙන් කෙළේ ය.</verse>
				<verse number="8">ජෙහෝවාහාස්ගේ අනික් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඔහුගේ වික්‍රම ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?</verse>
				<verse number="9">ජෙහෝවාහාස් ද මියගිය පසු සමාරියෙහි තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් ජෝවාෂ් ඔහු වෙනුවට රජ විය.</verse>
				<verse number="10">ජුදාහි රජ ජෝවාෂ්ගේ තිස්හත් වන අවුරුද්දේ දී ජෙහෝවාහාස්ගේ පුත් ජෙහෝවාෂ් සමාරියේ ඉශ්රායෙල්වරුන්ගේ රජ වී අවුරුදු දහසයක් රජකම් කෙළේ ය.</verse>
				<verse number="11">ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කොට, ඉශ්රායෙල්වරුන් පාපයට පෙළඹෙවු නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ සියලු පාපවලින් ඉවත් නොවී ඒවායේ හැසුරුණේ ය.</verse>
				<verse number="12">ජෝවාෂ්ගේ අනික් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඔහුගේ බලවන්තකම් වන ජුදාහි රජ වූ අමශියාට විරුද්ධ ව යුද්ධ කළ හැටි ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?</verse>
				<verse number="13">ජෝවාෂ් ද මියගියේ ය. ජෙරොබෝවම් ඔහු වෙනුවට රජ විය. ජෝවාෂ් සමාරියෙහි ඉශ්රායෙල් රජුන් සමඟ තැන්පත් කරනු ලැබී ය.</verse>
				<verse number="14">තමා මරණයට පත් කරන රෝගය එලිෂාට වැළඳුණ විට, ඉශ්රායෙල් රජු වන ජෝවාෂ් ඔහු වෙත ගොස් ඔහු ළඟ සිටගෙන අඬා, “මාගේ පියාණෙනි, ඉශ්රායෙල්වරුන්ගේ රථ සහ ඔවුන්ගේ අසරුවන් මෙන් බලවත් මාගේ පියාණෙනි”යි කී ය.</verse>
				<verse number="15">එලිෂා ද, “දුන්නක් හා ඊගස් ගන්නැ”යි ඔහුට කී ය. ඔහු දුන්න සහ ඊගස් ගත්තේ ය.</verse>
				<verse number="16">එලිෂා “ඔබේ අත දුන්න පිට තබන්නැ”යි ඉශ්රායෙල් රජුට කී ය. ඔහු තම අත තැබී ය. එවිට එලිෂා තමාගේ අත් රජුගේ අත් පිට තබා,</verse>
				<verse number="17">“නැගෙනහිර කවුළුව අරින්නැ”යි කී ය. ඔහු එය ඇරිය පසු, “දුන්නෙන් විදින්නැ”යි එලිෂා කී ය. ඔහු ද විද්දේ ය. එවිට එලිෂා, “ඒ සමිඳාණන් වහන්සේගේ ජය ඊගස ය, එනම්, සිරියන්වරුන්ගෙන් ජය ගැනීමේ ඊගස ය. ඔබ සිරියන්වරුන් නැති කරන තුරු, අපෙක්හි දී ඔවුන්ට පහර දෙන්නෙහි ය”යි කී ය.</verse>
				<verse number="18">ඔහු ද, “ඊගස් ගන්නැ”යි කී ය. ඔහු ඒවා ගත් විට, “ඒවා බිම ගසන්නැ”යි ඔහු ඉශ්රායෙල් රජුට කී ය. ඔහු තුන් වරක් ඒවා බිම ගසා නැවතුණේ ය.</verse>
				<verse number="19">එවිට දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ඔහු කෙරෙහි උදහස් වී, “ඔබ ඒවා පස් වරක් හෝ හය වරක් හෝ ගසන්නට යුතු ව තිබිණි. එසේ කෙළේ වී නම්, ඔබ සිරියන්වරුන් විනාශ වන තුරු ඔවුන්ට පහර දෙනු ඇත. එහෙත්, දැන් ඔබ තුන් වරක් පමණක් සිරියන්වරුන්ට පහර දෙන්නෙහි ය”යි කී ය.</verse>
				<verse number="20">එලිෂා මියගොස් තැන්පත් කරනු ලැබී ය. ඊළඟ අවුරුද්දේ මෝවබ්වරුන්ගේ හමුදා දේශයට ඇතුළු වූ හ.</verse>
				<verse number="21">මිනිසුන් මිනියක් වළලන්නට යන විට හමුදාවක් දැක එලිෂාගේ සොහොන් ගෙයි ඒ මිනිය දැමූ හ. ඒ මිනිය එලිෂාගේ ඇටවල තැවරුණු හැටියේ ම පණ ලැබ නැඟිට සිටියේ ය.</verse>
				<verse number="22">සිරියාවේ රජ වූ හසායෙල් ජෙහෝවාහාස්ගේ මුළු කාලයෙහි ඉශ්රායෙල්වරුන්ට පීඩා කෙළේ ය.</verse>
				<verse number="23">එහෙත්, සමිඳාණන් වහන්සේ ආබ්‍රහම් ද ඊසාක් ද ජාකොබ් ද සමඟ කළ තමන්ගේ ගිවිසුම නිසා ඔවුන්ට කරුණා කොට ඔවුන් කෙරෙහි අනුකම්පා කොට ඔවුන් සැලකූ සේක. උන් වහන්සේ ඔවුන් නැති කරන්නට අකමැති ව ඒ වන තුරු ඔවුන් තමන් ඉදිරියෙන් ඉවත නොදමා සිටි සේක.</verse>
				<verse number="24">සිරියාවේ රජ වූ හසායෙල් මළේ ය. ඔහුගේ පුත් බෙන්-හදද් ඔහු වෙනුවට රජ විය.</verse>
				<verse number="25">ජෙහෝවාහාස්ගේ පුත් ජෙහෝවාෂ් තමාගේ පිය වූ ජෙහෝවාහාස් අතින්, හසායෙල් විසින් යුද්ධ කොට අල්ලා ගනු ලැබූ නගර ඔහුගේ පුත්‍රයා වූ බෙන්-හදද් අතින් නැවත අල්ලාගත්තේ ය. ජෝවාෂ් තුන් වරක් ඔහුට පහර දී ඉශ්රායෙල් නගර ආපසු අල්ලාගත්තේ ය.</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">ඉශ්රායෙල් රජු වන ජෙහෝවාහාස්ගේ පුත් ජෙහෝවාෂ්ගේ දෙ වන අවුරුද්දේ දී ජුදාහි රජ වූ ජෙහෝවාෂ්ගේ පුත් අමශියා රජ විය.</verse>
				<verse number="2">විසිපස් අවුරුදු වයසේ දී ඔහු රජ වී ජෙරුසලමෙහි විසිනව අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම ජෙහෝයද්දින් ය. ඈ ජෙරුසලමේ ස්ත්‍රියකි.</verse>
				<verse number="3">අමශියා සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය. එහෙත්, ඔහු තමාගේ පිය වූ දාවිත් මෙන් නො වී ය. තම පිය වූ ජෝවාෂ් කළ සියල්ල ලෙස ඔහු කෙළේ ය.</verse>
				<verse number="4">එසේ වී නමුත්, ගිරිකුළු දේවාල ඉවත් නොකරන ලදී. ඒ වන තෙක් සෙනඟ ගිරිකුළු දේවාලවල පූජා කොට සුවඳ ද්‍රව්‍ය පිදූ හ.</verse>
				<verse number="5">තවද, රජකම ඔහු අතේ ස්ථිර වූ කෙණෙහි ම ඔහු තමාගේ පිය රජු මැරූ තමාගේ නිලධාරීන් මැරී ය.</verse>
				<verse number="6">එහෙත්, ‘දරුවන් නිසා පියවරු වත්, පියවරුන් නිසා දරුවෝ වත් මරනු නොලබත් වා, එක් එක්කෙනා තම තමාගේ ම පාපය නිසා මරනු ලැබේ වා’යි සමිඳාණන් වහන්සේ අණ කර වදාළ පරිදි, මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ ලියා තිබෙන ලෙස, ඔහු ඒ මිනීමරුවන්ගේ දරුවන් නොමැරී ය.</verse>
				<verse number="7">ඔහු ‘ලුණු’ මිටියාවතේ දී ඒදොම්වරුන් දසදහසක් මරා, යුද්ධ කොට සේලා අල්ලාගෙන, අද දක්වා තිබෙන හැටියට ඊට ජොක්තෙයෙල් යන නම තැබී ය.</verse>
				<verse number="8">එකල අමශියා දූතයන් යවමින්, “එන්න, අපි දෙදෙන මුණගැසෙමු” කියා ජේහුගේ පුත් ජෙහෝවාහාස්ගේ පුත්‍ර ඉශ්රායෙල් රජු වන ජෙහෝවාෂ්ට කියා යැවී ය.</verse>
				<verse number="9">ඉශ්රායෙල් රජ වන ජෙහෝවාෂ් උත්තර දෙමින්, “ ‘ඔබේ දුව මාගේ පුතාට භාර්යාව කොට දෙන්න’ කියා ලෙබනොන්හි වූ කටු පඳුර වැනි සුළු තැනැත්තා ලෙබනොන්හි වූ කිහිරි ගස වැනි උතුම් තැනැත්තාට කියා යැවී ය. එහෙත්, ලෙබනොන්හි වන මෘගයෙක් ඒ ළඟින් යන විට කටු පඳුර පාගාදැමුවේ ය.</verse>
				<verse number="10">ඔබ හිස උදුම්වාගෙන ඒදොම්වරුන්ට පහර දුන් බව සැබෑ ය. ඔබේ සිත ද උඩඟු වී තිබේ. ඒ ගෞරවය ඔබට සෑහේ. දැන් ඉතින් ගෙදර නවතින්න. ඔබ ද ඔබ සමඟ ජුදාවරුන් ද වැටෙන ලෙස ඔබ අන්තරායට මැදි වන්නේ මන්දැ”යි ජුදාහි රජු වන අමශියාට කියා යැවී ය.</verse>
				<verse number="11">එහෙත්, අමශියා ඇහුම්කන් දුන්නේ නැත. ඒ නිසා ඉශ්රායෙල් රජ වන ජෙහෝවාෂ් පහර දෙන්න ගියේ ය. ඔහු ද ජුදාහි රජ වන අමශියා ද ජුදාට අයිති බෙත්-ෂෙමෙෂ්හි දී එකිනෙකාට මුණගැසුණෝ ය.</verse>
				<verse number="12">ජුදාවරු ඉශ්රායෙල්වරුන්ට පරාජය වී සියල්ලෝ ම තම තමන්ගේ කූඩාරම්වලට පලා ගියහ.</verse>
				<verse number="13">ඉශ්රායෙල් රජ වන ජෙහෝවාෂ් අහසියාගේ පුත් ජෙහෝවාෂ්ගේ පුත්‍රයා වන ජුදාහි රජ වන අමශියා බෙත්-ෂෙමෙෂ්හි දී අල්ලාගෙන ජෙරුසලමට අවුත්, එප්‍රායිම් දොරටුවේ සිට කොනේ දොරටුව දක්වා ජෙරුසලමේ පවුරෙන් මීටර් දෙසියයක් බිඳදමා,</verse>
				<verse number="14">සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහිත්, රජ මැදුරේ ගබඩාවලත් තිබූ රන් රිදී සියල්ල ද භාජන සියල්ල ද ඇපකාරයන් ද රැගෙන ආපසු හැරී සමාරියට ගියේ ය.</verse>
				<verse number="15">ජෙහෝවාෂ් කළ අනික් ක්‍රියා ද ඔහුගේ වික්‍රම ද ඔහු ජුදාහි රජ වූ අමශියාට විරුද්ධ ව යුද්ධ කළ හැටි ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?</verse>
				<verse number="16">ජෙහෝවාෂ් ද මියගිය පසු සමාරියෙහි ඉශ්රායෙල් රජුන් ළඟ තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් ජෙරොබෝවම් ඔහු වෙනුවට රජ විය.</verse>
				<verse number="17">ජෙහෝවාහාස්ගේ පුත් ඉශ්රායෙල් රජ වූ ජෙහෝවාෂ්ගේ මරණයෙන් පසු ජෝවාෂ්ගේ පුත් ජුදයේ රජ වන අමශියා අවුරුදු පහළොවක් ජීවත් විය.</verse>
				<verse number="18">අමශියාගේ අනෙක් ක්‍රියා ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?</verse>
				<verse number="19">මිනිසුන් ඔහුට විරුද්ධ ව ජෙරුසලමෙහි කුමන්ත්‍රණයක් කළහ. ඔහු ලාකීෂ් නම් ස්ථානයට පලා ගියේ ය. එහෙත්, ඔව්හු ඔහු පස්සේ ලාකීෂ්ට මිනිසුන් යවා එහි දී ඔහු මරා</verse>
				<verse number="20">අශ්වයන් පිට තබා ගෙනවුත්, ජෙරුසලමෙහි දාවිත්ගේ නුවර ඔහුගේ පියවරුන් ළඟ තැන්පත් කළෝ ය.</verse>
				<verse number="21">එකල ජුදාහි මුළු සෙනඟ දහසය අවුරුදු වයස් ව සිටි උශ්ශියා කැඳවාගෙන ඔහුගේ පියා වූ අමශියා වෙනුවට රජකමට පත් කළෝ ය.</verse>
				<verse number="22">රජු මියගිය පසු ඔහු ඒලත් ගොඩනඟා එය ජුදා රටට නැවත අයිති කරගත්තේ ය.</verse>
				<verse number="23">ජුදාහි රජ වූ ජෝවාෂ්ගේ පුත් අමශියාගේ පසළොස් වන අවුරුද්දේ දී ඉශ්රායෙල් රජ වූ ජෝවාෂ්ගේ පුත් ජෙරොබෝවම් සමාරියෙහි රජ වී සතළිස්එක් අවුරුද්දක් රජකම් කෙළේ ය.</verse>
				<verse number="24">ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. ඉශ්රායෙල්වරුන් පාපයට පෙළඹෙවූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ සියලු පාපවලින් ඔහු අහක් නො වී ය.</verse>
				<verse number="25">ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ මෙහෙකරු වූ, ගාත්-හෙපෙර්හි දිවැසිවර අමිත්තයිගේ පුත් ජෝනා ලවා කියෙවූ වචනය ලෙස හමාත් දුර්ගයට ඇතුල් වන තැන පටන් අරබා සමභූමියේ මුහුද දක්වා ඉශ්රායෙල්වරුන්ගේ දේශ සීමාව ඔහු නැවත ලබාගත්තේ ය.</verse>
				<verse number="26">මන්ද, ඉශ්රායෙල්වරුන්ගේ පීඩිතකම ඉතා බරපතල බවත්, දාසයන් ද නිර්දාසයන් ද නැති වී ගිය බවත්, ඉශ්රායෙල්වරුන්ට උපකාර කරන්නට කෙනෙකු නැති බවත් සමිඳාණන් වහන්සේ දුටු සේක.</verse>
				<verse number="27">තවද, ඉශ්රායෙල් යන නාමය මිහි පිටින් මකා දමන බව සමිඳාණන් වහන්සේ නොවදාළ සේක. එබැවින් උන් වහන්සේ ජෝවාෂ්ගේ පුත් ජෙරොබෝවම් ලවා ඔවුන් මුදාගත් සේක.</verse>
				<verse number="28">ජෙරොබෝවම්ගේ අනික් ක්‍රියාත්, ඔහු කළ සියල්ලත්, ඔහුගේ වික්‍රම එනම්, ඔහු යුද්ධ කළ හැටිත්, ජුදාට අයිති ව තිබූ දමස්කය ද හමාත් ද ඔහු නැවත ඉශ්රායෙල්වරුන්ට ලබාගත් හැටිත් ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?</verse>
				<verse number="29">ජෙරොබෝවම් ද මියගියේ ය. ඔහුගේ පුත් සෙකරියා ඔහු වෙනුවට රජ විය.</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">ඉශ්රායෙල් රජු වන ජෙරොබෝවම්ගේ විසිහත් වන අවුරුද්දේ දී ජුදාහි රජු වන අමශියාගේ පුත් උශ්ශියා රජ විය.</verse>
				<verse number="2">දහසය අවුරුදු වයසේ දී ඔහු රජ වී ජෙරුසලමේ පණස්දෑවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම ජෙකොලියා ය. ඈ ජෙරුසලමේ ස්ත්‍රියකි.</verse>
				<verse number="3">තමාගේ පිය වූ අමශියා කළ සියල්ල ලෙස ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය.</verse>
				<verse number="4">එසේ වුවත්, දේවාල පහ නොකරන ලද්දේ ය. ඒ වන තෙක් සෙනඟ දේවාලවල පූජා කොට සුවඳ ද්‍රව්‍ය පිදූ හ.</verse>
				<verse number="5">සමිඳාණන් වහන්සේ රජුට පහර දුන් සේක. ඔහු මැරෙන දවස දක්වා කුෂ්ඨ රෝගියෙකු ව, වෙන ම ගෙයක වාසය කෙළේ ය. රජුගේ පුත් ජෝතාම් රජ ගෙදර ප්‍රධානියා ව සිට දේශයේ සෙනඟ පාලනය කෙළේ ය.</verse>
				<verse number="6">උශ්ශියාගේ අනික් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ජුදාහි රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?</verse>
				<verse number="7">ඔහු මියගිය පසු දාවිත්ගේ නුවර ඔහුගේ පියවරුන් ළඟ ඔහු තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් ජෝතාම් ඔහු වෙනුවට රජ විය.</verse>
				<verse number="8">ජුදාහි රජ වූ උශ්ශියාගේ තිස්අට වන අවුරුද්දේ දී ජෙරොබෝවම්ගේ පුත් ශෙකරියා සමාරියේ ඉශ්රායෙල්හි හය මාසයක් රජකම් කෙළේ ය.</verse>
				<verse number="9">ඔහු තමාගේ පියවරුන් කළ පරිදි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. ඔහු ඉශ්රායෙල්වරුන් පාපයට පෙළඹුවාවූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාපවලින් ඉවත් නො වී ය.</verse>
				<verse number="10">ජාබෙශ්ගේ පුත් ෂල්ලුම් ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට සෙනඟ ඉදිරියේ ඔහුට පහර දී මරා, ඔහු වෙනුවට රජ විය.</verse>
				<verse number="11">ශෙකරියාගේ අනෙක් ක්‍රියා ඉශ්රායෙල් රජුන්ගේ පුරවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ.</verse>
				<verse number="12">මෙය වනාහි ‘නුඹේ පුත්‍රයෝ සතර වන පරම්පරාව දක්වා ඉශ්රායෙල් සිංහාසනයෙහි හිඳින්නෝ ය”යි සමිඳාණන් වහන්සේ ජේහුට වදාළ වචනය වේ. එය එලෙස ම සිදු විය.</verse>
				<verse number="13">ජාබෙෂ්ගේ පුත් ෂල්ලුම් ජුදාහි රජ වන උශ්ශියාගේ තිස්නව වන අවුරුද්දේ දී රජ වී මාසයක් සමාරියෙහි රජකම් කෙළේ ය.</verse>
				<verse number="14">එවිට ගාදීගේ පුත් මෙනහෙම් තිර්ශා සිට පිටත් වී සමාරියට අවුත් ජාබෙශ්ගේ පුත් ෂල්ලුම්ට සමාරියේ දී පහර දී ඔහු මරා, ඔහු වෙනුවට රජ විය.</verse>
				<verse number="15">ෂල්ලුම්ගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ කුමන්ත්‍රණය ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ.</verse>
				<verse number="16">එකල මෙනහෙම් තිප්සාටත්, එහි සිටි සියල්ලන්ටත්, තිර්ශා පටන් එහි පළාත්වලටත් පහර දුන්නේ ය. ඔවුන් ඔහුට නුවර දොරටු නොහැරිය බැවින් ඔහු ඔවුන්ට පහර දී එහි සිටි සියලු ගර්භණීන් දෙපළු කරදැමී ය.</verse>
				<verse number="17">ජුදාහි රජ වූ උශ්ශියාගේ තිස්නව වන අවුරුද්දේ දී ගාදීගේ පුත් මෙනහෙම් ඉශ්රායෙල්වරුන්ගේ රජ වී සමාරියේ දස අවුරුද්දක් රජකම් කෙළේ ය.</verse>
				<verse number="18">ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. ඉශ්රායෙල්වරුන් පාපයට පෙළඹුවාවූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාපවලින් ඔහු තමාගේ සියලු දවස්වල ඉවත් නොවී සිටියේ ය.</verse>
				<verse number="19">අසිරියාවේ රජ වූ පූල් දේශය ආක්‍රමණය කෙළේ ය. මෙනහෙම් ද රාජ බලය තමා අතේ තහවුරු කරගැනීමට, පූල් තමාට උදව් වන පිණිස රිදී කිලෝග්‍රෑම් තිස්හතරදහසක් ඔහුට දුන්නේ ය.</verse>
				<verse number="20">මෙනහෙම් තෙමේ අසිරියාවේ රජුට දෙන පිණිස එක් එක්කෙනාගෙන් රිදී කාසි පණහක් බැගින් ඉශ්රායෙල්හි සියලු පොහොසත් බලවතුන්ගෙන් අය කෙළේ ය. එවිට අසිරියාවේ රජ දේශයේ නොනැවතී හැරී ගියේ ය.</verse>
				<verse number="21">මෙනහෙම් අනෙක් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?</verse>
				<verse number="22">මෙනහෙම් ද මියගිය පසු ඔහුගේ පුත් පෙකහියා ඔහු වෙනුවට රජ විය.</verse>
				<verse number="23">ජුදාහි රජ වූ උශ්ශියාගේ පණස් වන අවුරුද්දේ දී මෙනහෙම්ගේ පුත් පෙකහියා සමාරියේ ඉශ්රායෙල්වරුන්ගේ රජ වී දෑවුරුද්දක් රජකම් කෙළේ ය.</verse>
				<verse number="24">ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. ඉශ්රායෙල්වරුන් පාපයට පෙළඹුවාවූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාපවලින් ඔහු ඉවත් නො වී ය.</verse>
				<verse number="25">ඔහුගේ අශ්ව රථාධිපතියා වන රෙමලියාගේ පුත් පෙකා, ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට ගිලියද්වරුන්ගේ පුත්‍රයන්ගෙන් මිනිසුන් පණස්දෙනෙකුත් කැඳවාගෙන අවුත්, සමාරියෙහි රජවාසලේ බලකොටුවේ දී ඔහු මරා ඔහු වෙනුවට රජ විය.</verse>
				<verse number="26">පෙකහියාගේ අනික් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ.</verse>
				<verse number="27">ජුදාහි රජු වන උශ්ශියාගේ පණස් දෙ වන අවුරුද්දේ දී රෙමලියාගේ පුත් පෙකා සමාරියෙහි ඉශ්රායෙල්වරුන්ගේ රජ වී විසි අවුරුද්දක් රජකම් කෙළේ ය.</verse>
				<verse number="28">ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. ඉශ්රායෙල්වරුන් පාපයට පෙළඹුවාවූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාපවලින් ඔහු ඉවත් නො වී ය.</verse>
				<verse number="29">ඉශ්රායෙල් රජු වන පෙකාගේ කාලයේ දී අසිරියාවේ රජු වන තිග්ලත්-පිලෙසෙර් අවුත් ඊයොන් ද ආබෙල්-බෙත්-මයකා ද ජනෝවා ද කෙදෙෂ් ද හාශෝර් ද ගිලියද් ද ගලීලය ද, එනම් මුළු නප්තලී දේශය ද අල්ලාගෙන දේශවාසීන් අසිරියාවට ගෙන ගියේ ය.</verse>
				<verse number="30">උශ්ශියාගේ පුත් ජෝතාම්ගේ විසි වන අවුරුද්දේ දී ඒලාගේ පුත් හෝෂෙයා රෙමලියාගේ පුත් පෙකාට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට, ඔහුට පහර දී මරා ඔහු වෙනුවට රජ විය.</verse>
				<verse number="31">පෙකාගේ අනික් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ.</verse>
				<verse number="32">රෙමලියාගේ පුත් ඉශ්රායෙල්හි රජු වන පෙකාගේ දෙ වන අවුරුද්දේ දී ජුදාහි රජ වූ උශ්ශියාගේ පුත් ජෝතාම් රජ විය.</verse>
				<verse number="33">විසිපස් අවුරුදු වයසේ දී ඔහු රජ වී ජෙරුසලමේ දහසය අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම ජෙරුෂා ය. ඈ ශාදොක්ගේ දුවකි.</verse>
				<verse number="34">ජෝතාම් සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කරමින් තමාගේ පියා වූ උශ්ශියා කළ සියල්ල ලෙස කෙළේ ය.</verse>
				<verse number="35">එහෙත්, ගිරිකුළු දේවාල පහ නොකරන ලද්දේ ය. ඒ වන තෙක් සෙනඟ ගිරිකුළු දේවාලවල සුවඳ ද්‍රව්‍ය පිදූ හ. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඉහළ දොරටුව ගොඩනැඟුවේ ඔහු ය.</verse>
				<verse number="36">ජෝතාම්ගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?</verse>
				<verse number="37">ඒ දවස්වල දී සමිඳාණන් වහන්සේ සිරියාවේ රජ වූ රෙශින් ද රෙමලියාගේ පුත් පෙකා ද ජුදාට විරුද්ධ ව සටනට යවන්න පටන්ගත් සේක.</verse>
				<verse number="38">ජෝතාම් මියගිය පසු තමාගේ පිය වූ දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් ආහාස් ඔහු වෙනුවට රජ විය.</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">රෙමලියාගේ පුත් පෙකාගේ දහහත් වන අවුරුද්දේ දී ජුදාහි රජ වූ ජෝතාම්ගේ පුත් ආහාස් රජ විය.</verse>
				<verse number="2">ආහාස් විසි අවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමේ දහසය අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහු තමාගේ පිය වූ දාවිත් මෙන් නොව තමාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ නොකර,</verse>
				<verse number="3">ඉශ්රායෙල් රජුන්ගේ මාර්ගයෙහි ගමන්කර සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පහකරදැමූ විජාතීන්ගේ පිළිකුල් සිරිත් ලෙස තමාගේ පුත්‍රයා ගිනි මැදින් යවා පූජා කෙළේ ය.</verse>
				<verse number="4">ඔහු ගිරිකුළු දේවාලවලත්, හෙල් පිටත්, සියලු අතු පතර ඇති ගස් යටත් පූජා ඔප්පු කොට සුවඳ ද්‍රව්‍ය පිදී ය.</verse>
				<verse number="5">එකල සිරියාවේ රජ වන රෙශින් ද රෙමලියාගේ පුත් ඉශ්රායෙල් රජ වන පෙකා ද යුද්ධ කරන පිණිස ජෙරුසලමට අවුත් ආහාස් වැටලූ නමුත්, ඔහු පරදවන්නට අපොහොසත් වූ හ.</verse>
				<verse number="6">ඒ කාලයේ දී සිරියාවේ රජ වන රෙශින්, ඒලත් දේශය නැවත සිරියාවට ලබාගෙන ජුදාවරුන් ඒලත් කෙරෙන් පහකරදැමී ය. සිරියන්වරු ඒලත්ට අවුත් අද වන තුරු එහි වසති.</verse>
				<verse number="7">එකල ආහාස් අසිරියාවේ රජ වන තිග්ලත්-පිලෙසෙර් වෙත දූතයන් යවා, “මම ඔබේ මෙහෙකරුවා ය; ඔබේ පුත්‍රයා ය. ඔබ අවුත් මට විරුද්ධ ව නැඟිට සිටින සිරියාවේ රජුන්ගේ අතිනුත්, ඉශ්රායෙල් රජුන්ගේ අතිනුත් මා ගැළවුව මැනව”යි කියා යැවී ය.</verse>
				<verse number="8">තවද, ආහාස් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහිත්, රජ ගෙදර ගබඩාවලත් තිබුණු රන් රිදී රැගෙන අසිරියාවේ රජුට තෑග්ගක් වශයෙන් යැවී ය.</verse>
				<verse number="9">අසිරියාවේ රජ ඔහුට ඇහුම්කන් දී දමස්කයට විරුද්ධ ව ගොස් එය අල්ලාගෙන එහි වැසියන් වහලුන් කොට කීර්ට ගෙන ගියේ ය. ඔහු රෙශින් ද මැරවී ය.</verse>
				<verse number="10">ආහාස් රජ අසිරියාවේ රජ වන තිග්ලත්-පිලෙසෙර් සම්බ වන්න දමස්කයට ගොස් දමස්කයේ තිබුණු පූජාසනය දැක, පූජාසනයේ සියලු වැඩවල හරි සැලැස්මක් ද එහි දිග පළල ආදිය ද උරියා පූජකයාට එවී ය.</verse>
				<verse number="11">උරියා පූජක තෙමේ පූජාසනය ගොඩනැඟුවේ ය. ආහාස් රජ දමස්කයෙන් එවූ සියල්ලේ හැටියට උරියා පූජක තෙමේ ආහාස් රජ දමස්කයෙන් එන්නට පෙර එය සෑදුවේ ය.</verse>
				<verse number="12">රජ දමස්කයෙන් අවුත්, ඒ පූජාසනය දැක, ඊට ළං ව ඒ මත පූජා කෙළේ ය.</verse>
				<verse number="13">ඔහු තමාගේ දවන යාග පූජාවත්, ආහාර පූජාවත් පුදා, තමාගේ පානීය පූජාව වත් කොට තමාගේ සහභාගිකමේ පූජාවල ලේ පූජාසනය මත ඉස්සේ ය.</verse>
				<verse number="14">සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිබූ ලෝකඩ පූජාසනය වූ කලී මාලිගාව ඉදිරියෙන් එනම්, තමාගේ පූජාසනයටත් සමිඳාණන් වහන්සේගේ මාලිගාවටත් අතරෙන් අහක් කොට තමාගේ පූජාසනයට උතුරු පැත්තේ එය තැබිණි.</verse>
				<verse number="15">ආහාස් රජ පූජකයා වූ උරියාට අණ කරමින්, “උදේ දවන යාග පූජාවත්, සවස ආහාර පූජාවත්, රජුගේ යාග පූජාවත්, ඔහුගේ ආහාර පූජාවත්, දේශයේ මුළු සෙනඟගේ දවන යාග පුජාවත්, සවස ඔවුන්ගේ ආහාර පූජාවත්, ඔවුන්ගේ පානීය පූජාවලුත් මහා පූජාසනය මත දවා, දවන යාග පූජාවේ සියලු ලේත්, පූජාවේ සියලු ලේත් එය මත ඉසින්න. ලෝකඩ පූජාසනය වනාහි මාගේ පේන කීම පිණිස වන්නේ ය”යි කී ය.</verse>
				<verse number="16">ආහාස් රජු අණ කළ සියල්ල පූජක වන උරියා ඉටු කෙළේ ය.</verse>
				<verse number="17">තවද, ආහාස් රජ අසිරියාවේ රජු නිසා මැසිවල පනේල කපාදමා ඒවා උඩ තිබූ භාජනය අහක් කෙළේ ය. ලෝකඩ බඳුන යට තිබූ ගව රූප අටෙන් ලෝකඩ බඳුන බස්වා ගල් ඇල්ලූ බිමක තැබී ය.</verse>
				<verse number="18">සබත් දවසේ යාම පිණිස මාලිගාවෙහි සාදා තිබුණ ඇහුරූ මාර්ගය ද රජුට ඇතුළු වීමට තිබුණ බාහිර ස්ථානය ද ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාව දෙසට හරවා තැබී ය.</verse>
				<verse number="19">ආහාස් කළ අනෙක් ක්‍රියා ජුදාහි රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?</verse>
				<verse number="20">ආහාස් මියගිය පසු දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් හෙසකියා ඔහු වෙනුවට රජ විය.</verse>
			</chapter>
			<chapter number="17">
				<verse number="1">ජුදාහි රජ වූ ආහාස්ගේ දොළොස් වන අවුරුද්දේ දී ඒලාගේ පුත් හෝෂෙයා සමාරියෙහි ඉශ්රායෙල්වරුන්ගේ රජ වී නව අවුරුද්දක් රජකම් කෙළේ ය.</verse>
				<verse number="2">ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. එහෙත්, තමාට පළමුවෙන් සිටි ඉශ්රායෙල් රජවරුන් මෙන් නො වී ය.</verse>
				<verse number="3">අසිරියාවේ රජ වූ ෂල්මනෙසර් ඔහුට විරුද්ධ ව ආයේ ය. හෝෂෙයා ඔහුට මෙහෙකරු වී කප්පම් දුන්නේ ය.</verse>
				<verse number="4">එහෙත්, හෝෂෙයා මිසරයේ සෝ නම් රජු ළඟට දූතයන් යැවූ නිසාත්, අවුරුදුපතා කළ සැටියට අසිරියාවේ රජුට කප්පම් ගෙනවුත් නුදුන් නිසාත් ඔහු කුමන්ත්‍රණය කළ බව අසිරියාවේ රජ දැන ගෙන ඔහුට විළංගු ලා හිර අඩස්සි කෙළේ ය.</verse>
				<verse number="5">එවිට අසිරියාවේ රජ දේශය මුළුල්ලෙහි ගොස් සමාරියට පැමිණ, තුන් අවුරුද්දක් එය වටලාගෙන සිටියේ ය.</verse>
				<verse number="6">තවද, හෝෂෙයාගේ නව වන අවුරුද්දේ අසිරියාවේ රජ සමාරිය අල්ලාගෙන ඉශ්රායෙල්වරුන් අසිරියාවට ගෙන ගොස් හලාහි ද ගෝශාන් ගංගාව වන හාබොර් ළඟ ද මේදවරුන්ගේ නුවරවල ද පදිංචි කරවී ය.</verse>
				<verse number="7">එසේ වූයේ, ඉශ්රායෙල් ජනයා පාරාවෝ රජුගේ බලයෙන් නිදහස් කොට මිසර දේශයෙන් ගෙනා තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කරමින් වෙන දෙවිවරුන්ට බිය ව,</verse>
				<verse number="8">සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් පන්නාදැමූ විජාතීන්ගේ සම්ප්‍රදායයන් අනුව ද හැසුරුණු නිසා ය.</verse>
				<verse number="9">තවද, ඉශ්රායෙල් ජනයා තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව අයුතු දේවල් රහසින් කරමින්, මුරකාරයන්ගේ කොටු පටන් පවුරු ඇති නගර දක්වා තමන්ගේ හැම නගරයක ගිරිකුළු දේවාල සාදාගෙන,</verse>
				<verse number="10">උස් වූ සියලු හෙල් පිට ද සියලු අතු පතර ඇති විශාල ගස් යට ද රූපස්තම්භ සහ අෂේරා කප් කණු පිහිටුවාගෙන,</verse>
				<verse number="11">ඔවුන් ඉදිරියෙන් සමිඳාණන් වහන්සේ ගෙන ගිය විජාතීන් කළ පරිදි ඒ සියලු ගිරිකුළු දේවාලවල සුවඳ දුම් ඔප්පු කළෝ ය. සමිඳාණන් වහන්සේ උදහස් කරන අන්දමේ නපුරු දේවල් ද කළෝ ය.</verse>
				<verse number="12">‘රූපවලට වැඳුම්පිදුම් නොකරන්නැ’යි සමිඳාණන් වහන්සේ ඔවුන්ට වදාළ නමුත් ඔව්හු ඒ දේ කළෝ ය.</verse>
				<verse number="13">එහෙත්, සමිඳාණන් වහන්සේ තමන්ගේ සියලු දිවැසිවරුන් ද දර්ශකයන් ද ලවා ඉශ්රායෙල්වරුන්ටත්, ජුදාවරුන්ටත් අවවාද කරමින්, “නුඹලාගේ නපුරු මාර්ගවලින් ඉවත් වී, නුඹලාගේ පියවරුන්ට මා අණ කළ, මාගේ සේවකයන් වන දිවැසිවරුන් අත නුඹලාට එවූ මාගේ මුළු ව්‍යවස්ථාව අනුව මාගේ ආඥා පවත්වන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="14">එහෙත්, ඔව්හු සවන් නො දී, තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ නොඇදහු ඔවුන්ගේ පියවරුන් මුරණ්ඩු වූ ලෙස තමන්ගේ මුරණ්ඩුකම් වැඩිකරගෙන,</verse>
				<verse number="15">උන් වහන්සේගේ පණත් ද ඔවුන්ගේ පියවරුන් සමඟ කළ උන් වහන්සේගේ ගිවිසුම ද ඔවුන්ට උන් වහන්සේ දුන් උන් වහන්සේගේ අවවාද ද එපා කර, වැදගැම්මක් නැති නිෂ්ඵල රූපවලට නමස්කාර කොට, වැදගැම්මක් නැති අය වෙමින් ඔවුන් වටකර සිටි විජාතීන් මෙන් නොකරන හැටියට සමිඳාණන් වහන්සේ ඔවුන්ට අණ කළ නමුත්, ඒ විජාතීන්ගේ සම්ප්‍රදායයන් අනුව හැසුරුණෝ ය.</verse>
				<verse number="16">ඔව්හු තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා අත්හැර, වාත්තු කළ පිළිම වන වස්සන් දෙදෙනෙකු ද අෂේරා කප් කණු ද සාදා ගෙන ආකාශ වස්තූන් සියල්ලට නමස්කාර කරමින්, බාල් දෙවියාට සේවය කළෝ ය.</verse>
				<verse number="17">ඔව්හු තමන්ගේ පුත්‍රයන් ද දූවරුන් ද ගිනි මැදින් යවා පූජා කළෝ ය. පේන කීම ද ශාස්ත්‍ර බැලීම ද භාවිතා කළෝ ය. ඔව්හු සමිඳාණන් වහන්සේ උදහස් කරවන ලෙස උන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කිරීමට ද භාර වූ හ.</verse>
				<verse number="18">ඒ නිසා සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඉතා උදහස් වී තමන්ගේ ඇස් හමුයෙන් ඔවුන් පහකළ සේක. ඉතිරි වූයේ ජුදා ගෝත්‍රය පමණකි.</verse>
				<verse number="19">ජුදාවරුත් තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥා රක්ෂා නොකොට, ඉශ්රායෙල්වරුන් සාදාගත් පණත් ලෙස හැසුරුණෝ ය.</verse>
				<verse number="20">සමිඳාණන් වහන්සේ ද මුළු ඉශ්රායෙල් වංශය අත්හැර ඔවුන්ට පීඩා කොට ඔවුන් තමන්ගේ ඇස් හමුයෙන් ඉවත්කර දමන තුරු කොල්ලකාරයන්ගේ අතට ඔවුන් පාවා දුන් සේක.</verse>
				<verse number="21">එසේ වූයේ, උන් වහන්සේ ඉශ්රායෙල්වරුන් දාවිත්ගේ වංශයෙන් වෙන් කළ බැවින් ඔව්හු නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් රජ කොට පත් කරගත්තෝ ය. ජෙරොබෝවම් සමිඳාණන් වහන්සේ වෙතින් ඉශ්රායෙල්වරුන් බැහැර කොට ඔවුන් බරපතල පාපයන්ට පෙළඹී ය.</verse>
				<verse number="22">මෙසේ සමිඳාණන් වහන්සේ තමන්ගේ සියලු මෙහෙකරුවන් දිවැසිවරුන් ලවා කියෙවූ ලෙස ඉශ්රායෙල් ජනයා තමන්ගේ ඇස් හමුයෙන් පහකරන තෙක්, ඔව්හු ජෙරොබෝවම් කළ සියලු ම පාපවලින් ඉවත් නොවී, ඒවායෙහි හැසුරුණෝ ය.</verse>
				<verse number="23">මෙසේ ඉශ්රායෙල්වරු තමන්ගේ දේශයෙන් අසිරියාවට ගෙනයන ලදුව අද දක්වා එහි සිටිති.</verse>
				<verse number="24">අසිරියාවේ රජ බබිලෝනියෙන් ද කුතාවෙන් ද අව්වායෙන් ද හමාතෙන් ද සෙපර්වයිමෙන් ද මිනිසුන් ගෙනවුත්, ඉශ්රායෙල් ජනයා වෙනුවට සමාරියේ නගරවල පදිංචි කරවී ය. ඔව්හු සමාරිය හිමි කරගෙන එහි නගරවල වාසය කළෝ ය.</verse>
				<verse number="25">ඔව්හු එහි වාසය කරන්න පටන්ගන්න කල සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව නොසිටියෝ ය. එබැවින් සමිඳාණන් වහන්සේ ඔවුන් අතරට සිංහයන් යැවූ සේක. ඒ සත්තු ඔවුන්ගෙන් සමහර දෙනෙකුන් මැරූ හ.</verse>
				<verse number="26">එබැවින් ඔව්හු අසිරියාවේ රජුට කතා කොට, “ඔබ ගෙනවුත් සමාරියේ නුවරවල පදිංචි කරවූ ජාතීහු ඒ දේශයේ දෙවියන් නමදින අන්දම නොදනිති. ඒ නිසා උන් වහන්සේ ඔවුන් අතරට සිංහයන් එවූ සේක. ඔවුන් දේශයේ දෙවියන් නමදින අන්දම නොදන්න නිසා සිංහයෝ ඔවුන් මරති”යි කී හ.</verse>
				<verse number="27">එවිට අසිරියාවේ රජ අණ කරමින්, “ඔබ එතැනින් ගෙනා පූජකයන්ගෙන් එක් කෙනෙකු එහි කැඳවාගෙන යන්න. ඔහු ගොස් එහි වාසය කරමින් ඒ දේශයේ දෙවියන් නමදින අන්දම ඔවුන්ට උගන්වා දේ වා”යි කී ය.</verse>
				<verse number="28">මෙසේ ඔවුන් සමාරියෙන් ගෙන ගිය පූජකයන්ගෙන් එක් කෙනෙක් අවුත් බෙතෙල්හි වාසය කොට, සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය පෑ යුතු අන්දම ඔවුන්ට ඉගැන්වී ය.</verse>
				<verse number="29">එසේ වුවත්, ඒ ජාතීහු තම තමන්ගේ දෙවිවරුන් සාදාගෙන, ඒ ජාතීන් විසූ නගරවල තිබූ ගිරිකුළු දේවාලවල ඒවා තැබූ හ.</verse>
				<verse number="30">එසේ බබිලෝනියේ මිනිස්සු සුක්කොත්-බෙනොත් ද කුත්හි මිනිස්සු නේර්ගල් ද හමාත්හි මිනිස්සු අෂිමා ද</verse>
				<verse number="31">අව්විවරු නිබ්හාස් ද තර්තාක් ද යන දෙවිවරුන් සෑදුවෝ ය. සෙපර්වීවරු ද සෙපර්වයිමේ දෙවිවරුන් වන අද්‍රම්මෙලෙක්ට සහ අනම්මෙලෙක්ට පූජා කරනු සඳහා තමන්ගේ දරුවන් ගින්නෙන් දැවූ හ.</verse>
				<verse number="32">ඔව්හු සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය පවත්වමින් ගිරිකුළු දේවාලවල ඔවුන් උදෙසා පූජා කරන පිණිස තමන් අතරෙන් ගිරිකුළු දේවාලවල පූජකයන් පත් කරගත්හ.</verse>
				<verse number="33">ඔව්හු සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව තමන් අත්හැර පැමිණි ඒ විජාතීන්ගේ වත්පිළිවෙත් අනුව තමන්ගේ දෙවිවරුන්ට සේවය කළෝ ය.</verse>
				<verse number="34">අද දක්වා ඔව්හු පැරණි විධිවිධාන ලෙස කරති. ඔව්හු සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව නොසිටියහ, උන් වහන්සේගේ නියෝග ද පණත් ද ලෙස නොකළහ. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් යන නම තැබූ ජාකොබ්ගේ දරු පරපුරට අණ කළ උන් වහන්සේගේ ව්‍යවස්ථාවේ ද ආඥාවේ ද හැටියට නොකළහ.</verse>
				<verse number="35">සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා සමඟ ගිවිසුමක් කරමින්, “අන් දෙවිවරුන් කෙරෙහි ගරුබිය නොදක්වා ඔවුන්ට නමස්කාර නොකොට, සේවය නොකොට, පූජා නොකොට,</verse>
				<verse number="36">මහා බාහු බලයෙන් මිසර දේශයෙන් නුඹලා ගෙනා සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය පවත්වා, උන් වහන්සේට ම නමස්කාර කොට උන් වහන්සේට ම පූජා කරන්න.</verse>
				<verse number="37">අන් දෙවිවරුන් කෙරෙහි ගරුබිය නොපවත්වා, උන් වහන්සේ ලියා දුන් නියෝග ද පණත් ද ව්‍යවස්ථා ද ආඥා ද සෑම කල්හි ම පවත්වන්නට බලාගන්න.</verse>
				<verse number="38">මා නුඹලා සමඟ කළ ගිවිසුම මතක නැති නොකරන්න. වෙන දෙවිවරුන් කෙරෙහි ගරුබිය නොපවත්වා,</verse>
				<verse number="39">නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව සිටින්න. උන් වහන්සේ නුඹලාගේ සියලු සතුරන් අතින් නුඹලා ගළවනු ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="40">එසේ වී නමුත්, ඔව්හු සවන් නො දී තමන්ගේ පැරණි විධිවිධාන ලෙස කළහ.</verse>
				<verse number="41">මෙසේ මේ විජාතීහු සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය පවත්වමින් තමන්ගේ රූපවලට සේවය කළහ. එලෙසම ඔවුන්ගේ දරුවෝ ද දරුවන්ගේ දරුවෝ ද තමන්ගේ පියවරුන් කළ හැටියට අද දක්වා කරති.</verse>
			</chapter>
			<chapter number="18">
				<verse number="1">ඒලාගේ පුත් ඉශ්රායෙල් රජු වන හෝෂෙයාගේ තුන් වන අවුරුද්දේ දී ජුදාහි රජ වූ ආහාස්ගේ පුත් හෙසකියා රජ විය.</verse>
				<verse number="2">විසිපස් අවුරුදු වයසේ දී ඔහු රජ වී විසිනව අවුරුද්දක් ජෙරුසලමේ රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම අබි ය. ඈ සෙකරියාගේ දුවකි.</verse>
				<verse number="3">ඔහුගේ පිය වූ දාවිත් කළ සියල්ල ලෙස ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය.</verse>
				<verse number="4">ඔහු ගිරිකුළු දේවාල පහකර, රූපස්තම්භ කඩා, අෂේරා කප් කණු කපාදමා, මෝසෙස් විසින් සාදන ලද ලෝකඩ සර්පයා ද කැබැලි කොට දැමී ය. ඒ දවස් දක්වා ඉශ්රායෙල් ජනයා ඊට සුවඳ දුම් ඔප්පු කළහ. ඔහු ඊට නෙහුෂ්තාන් යයි නම තැබී ය.</verse>
				<verse number="5">ඔහු ඉශ්රායෙල්වරුන්ගේ සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කෙළේ ය. ඔහුට සමාන කිසිවෙක් ඔහුට පසු වත්, ඔහුට පෙර වත් ජුදාහි සියලු රජුන් අතරේ නොසිටියේ ය.</verse>
				<verse number="6">ඔහු සමිඳාණන් වහන්සේට ඇළුම් ව සිට උන් වහන්සේ අනුව යාම අත් නොහැර, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ උන් වහන්සේගේ ආඥා රක්ෂා කෙළේ ය.</verse>
				<verse number="7">සමිඳාණන් වහන්සේ ද ඔහු සමඟ සිටි සේක. ඔහු ගිය තැන සමෘද්ධ විය. ඔහු අසිරියාවේ රජුට විරුද්ධ ව කැරලි ගසා, ඔහුට සේවය නොකොට සිටියේ ය.</verse>
				<verse number="8">ගාසා සහ එහි සීමාවන් දක්වා ද මුරකොටුව පටන් පවුරු සහිත නගරය දක්වා ද පිලිස්තිවරුන්ට පහර දුන්නේ ඔහු ය.</verse>
				<verse number="9">ඒලාගේ පුත් ඉශ්රායෙල් රජ වූ හෝෂෙයාගේ සත් වන අවුරුද්ද වන හෙසකියා රජුගේ සතර වන අවුරුද්දේ දී අසිරියාවේ රජ වූ ෂල්මනෙසෙර් සමාරියට විරුද්ධ ව අවුත් එය වටලාගෙන,</verse>
				<verse number="10">තුන් අවුරුද්දකට පසු එය අල්ලාගත්තේ ය. ඉශ්රායෙල් රජු වන හෝෂෙයාගේ නව වන අවුරුද්ද වන හෙසකියාගේ හය වන අවුරුද්දේ දී සමාරිය අල්ලාගන්න ලද්දේ ය.</verse>
				<verse number="11">අසිරියාවේ රජ ද ඉශ්රායෙල්වරුන් අසිරියාවට ගෙන ගොස් හලාහි ද ගෝශාන්හි ගංගාව වන හාබොර් ළඟ ද මේදවරුන්ගේ නගරවල ද පදිංචි කරවී ය.</verse>
				<verse number="12">මෙසේ සිද්ධ වූයේ, ඔවුන් තම දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවී උන් වහන්සේගේ ගිවිසුම වන, සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් අණ කළ සියල්ල කඩ කළ නිසා ය. ඔව්හු ඒවා අසන්නට වත්, කරන්නට වත් නොකැමැති වූ හ.</verse>
				<verse number="13">හෙසකියා රජුගේ දහහතර වන අවුරුද්දේ දී අසිරියාවේ රජ වූ සෙනකෙරිබ් ජුදාහි රජවරුන්ගේ නගරවලට විරුද්ධ ව අවුත් ඒවා අල්ලාගත්තේ ය.</verse>
				<verse number="14">එවිට ජුදාහි රජු වන හෙසකියා, “මම වරද කෙළෙමි; මා වෙතින් හැරී ගිය මැනව. ඔබ මට පවරන හැම දෙයක් ම භාර ගනිමි”යි ලාකීෂ්හි සිටි අසිරියාවේ රජුට කියා යැවී ය. අසිරියාවේ රජ ද රිදී කිලෝග්‍රෑම් දසදහසක් ද රන් කිලෝග්‍රෑම් දහසක් ද දෙන්නට ජුදාහි රජ වූ හෙසකියාට නියම කෙළේ ය.</verse>
				<verse number="15">හෙසකියා සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහිත්, රජ ගෙදර ගබඩාවලත් තිබූ රිදී සියල්ල ඔහුට දුන්නේ ය.</verse>
				<verse number="16">ඒ කාලයෙහි හෙසකියා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරටුවලින් ද ජුදාහි රජ වූ හෙසකියා රනින් වැසූ කුළුණුවලින් ද රන් ඉවත් කරගෙන ඒවා අසිරියාවේ රජුට දුන්නේ ය.</verse>
				<verse number="17">එහෙත්, අසිරියාවේ රජ ලාකීෂ්හි සිට තර්තාන් ද රබ්-සාරිස් ද රබ්-ෂාකේ ද යන නිලධාරීන් විශාල සේනාවක් සමඟ හෙසකියා රජු වෙත ජෙරුසලමට යැවී ය. ඔව්හු අවුත් ජෙරුසලමට පැමිණියහ. තවද, ඔව්හු රජකයන්ගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කාණුව ළඟ සිට රජු කැඳවූ හ.</verse>
				<verse number="18">එවිට, රජ ගෙදර ප්‍රධානියා වූ හිල්කියාගේ පුත් එලියාකිම් ද ෂෙබ්නා ලේකම් ද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත් ජෝවා ද පිටත් ව ඔවුන් ළඟට ගියෝ ය.</verse>
				<verse number="19">එවිට රබ්-ෂාකේ ඔවුන්ට කතා කොට, “අසිරියාවේ රජු වන මහා රජතුමාණෝ මෙසේ කියන්නාහ: ‘ඔබ කුමක් කෙරෙහි විශ්වාසය තබන්නහු ද?</verse>
				<verse number="20">යුද බලය හා ශූරතාව වෙනුවට හිස් දඬුවම් සෑහේ යයි ඔබ සිතන්නෙහි ද? එහෙත්, ඒවා හිස් වචන වේ. ඉතින් ඔබ මට විරුද්ධ ව කැරලි ගැසුවේ කවරෙකු කෙරෙහි විශ්වාස කරගෙන ද?</verse>
				<verse number="21">මෙන්න, ඔබ විශ්වාස කරන්නේ ඒ තැළුණ බට දණ්ඩ වන මිසරය කෙරෙහි ය. යමෙකු ඊට බර වුණොත් එය ඔහුගේ අතට ඇනී හිල් වෙයි. මිසරයේ රජු වන පාරාවෝ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට ඔහු එලෙස කරන්නේ ය.</verse>
				<verse number="22">‘එහෙත්, අපේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමු යයි ඔබ හැම සමහර විට මට කියනු ඇත. එහෙත්, ඔබ හැම ජෙරුසලමෙහි මේ පූජාසනය ඉදිරියෙහි නමස්කාර කළ යුතු යයි ජුදාවරුන්ටත්, ජෙරුසලමේ වැසියන්ටත් කියා හෙසකියා උන් වහන්සේගේ කඳු මත පූජාස්ථාන ද පූජාසන ද පහකර දැමුවා නොවේ ද?</verse>
				<verse number="23">ඉතින් අශ්වයන් පිට නැඟී යන්නට අසරුවන් සොයන්නට ඔබට පුළුවන් නම්, ඔබ අසිරිය රජු වන මාගේ ස්වාමියාට ඇප දුන්නොත්, මම ඔබට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි.</verse>
				<verse number="24">එසේ ඔබට බැරි නම්, ඔබ මාගේ ස්වාමිහුගේ සුළු සේවකයන්ගෙන් එක මුලාදෑනියෙකු වුවත් එලවාදමන්නේ කෙසේ ද? අශ්ව රථ ද අසරුවන් ද ගැන මිසරය කෙරෙහි විශ්වාසය තබා සිටින්නහු ද?</verse>
				<verse number="25">මා දැන් මේ ස්ථානය විනාශ කරන්නට ඊට විරුද්ධ ව ආවේ සමිඳාණන් වහන්සේ නැතිව ද? මේ දේශයට විරුද්ධ ව ගොස් එය විනාශ කරන්නැ යි සමිඳාණන් වහන්සේ මට වදාළ සේක’ කියා ඔබ හැම හෙසකියාට කියන්නැ”යි කී ය.</verse>
				<verse number="26">එකල හිල්කියාගේ පුත් එලියාකිම් ද ෂෙබ්නා ද ජෝවා ද රබ්-ෂාකේට කතා කොට, “පවුර පිට සිටින සෙනඟට ඇසෙන්නට ජුදෙව් භාෂාවෙන් අපට කතා නොකොට, ඔබේ මෙහෙකරුවන් වන අපට සිරියන් භාෂාව තේරෙන නිසා ඒ භාෂාවෙන් කතා කළ මැනවැ”යි කී හ.</verse>
				<verse number="27">එහෙත්, රබ්-ෂාකේ ඔවුන්ට උත්තර දෙමින්, “මාගේ ස්වාමියා මේ වචන කියන්නට මා එවුවේ, ඔබේ ස්වාමියා හා ඔබ ළඟට ද? නොහොත් පවුර පිට සිටින මනුෂ්‍යයන් ඔබ සමඟ තමන්ගේ අශූචි කන පිණිසත්, තමන්ගේ මුත්‍රා බොන පිණිසත් ඔවුන් ළඟට නොවේ දැ”යි කී ය.</verse>
				<verse number="28">එවිට රබ්-ෂාකේ සිටගෙන ජුදෙව් භාෂාවෙන් මහා ශබ්දයකින් මොරගසා මෙසේ කීවේ ය: “අසිරියාවේ රජු වන මහා රජතුමාගේ වචන අසන්න.</verse>
				<verse number="29">ඔබ රවටන්න හෙසකියාට ඉඩ නොදෙන්න. මාගේ අතින් ඔබ ගළවන්නට ඔහුට බැරි ය.</verse>
				<verse number="30">සමිඳාණන් වහන්සේ සැබැවින් ම අප ගළවන සේක කියා ද මේ නුවර අසිරියාවෙහි රජු අතට අසුවන්නේ නැත කියා ද සමිඳාණන් වහන්සේ කෙරෙහි ඔබ විශ්වාස කරවන්නටත් ඉඩ නාරින්න.</verse>
				<verse number="31">හෙසකියාට ඇහුම්කන් නොදෙන්න. කුමක් හෙයින් ද අසිරියාවේ රජ මෙසේ කියයි: ‘මා හා සමඟ සාමදානයකට පැමිණ මා වෙත එන්න. එවිට මම අවුත් ඔබේ දේශයට සමාන වන ධාන්‍ය හා මුද්‍රික පානය ඇති, කෑම ද මිදි වතු ද ඇති, ඔලීව තෙල් ද මී පැණි ද ඇති දේශයකට ඔබ ගෙනයන තුරු,</verse>
				<verse number="32">ඔබ එකිනෙකාට තම තමාගේ මුද්‍රික වැලෙන් ද තම තමාගේ අත්තික්කා ගසෙන් ද කන්නටත්, තම තමාගේ ළිඳේ වතුර බොන්නටත් පුළුවන. මෙසේ ඔබ නොනැසී ජීවත් වන්නහු ය. සමිඳාණන් වහන්සේ අප ගළවාගන්න සේක කියා හෙසකියා ඔබ පොළඹවන කල ඔහුට සවන් නොදෙන්න.</verse>
				<verse number="33">විජාතීන්ගේ දෙවිවරු තම තමන්ගේ දේශ අසිරියාවේ රජුගේ අතින් කිසි සේත් ගළවාගත්තෝ ද?</verse>
				<verse number="34">හමාත්හි ද අර්පාද්හි ද දෙවිවරු කොයි ද? සෙපර්වයිම්හි ද හේනාහි ද ඉව්වාහි ද දෙවිවරු කොහි ද? ඔව්හු සමාරිය මාගේ අතින් ගළවාගත්තෝ ද?</verse>
				<verse number="35">සමිඳාණන් වහන්සේ ජෙරුසලම මාගේ අතින් ගළවාගන්න සේක කියා සිතන්නට පුළුවන් වන ලෙස, දේශවල සියලු දෙවිවරුන් අතරෙන් තමන්ගේ දේශ මාගේ අතින් ගළවා ගත්තේ කොයි දෙවිවරු දැ’යි අසන්නේ ය.”</verse>
				<verse number="36">එහෙත්, සෙනඟ ඔහුට කිසි උත්තරයක් නො දී නිශ්ශබ්ද ව සිටියෝ ය. මන්ද, “ඔහුට උත්තර දෙන්න එපා ය”යි රජුගේ ආඥාවක් පනවා තිබිණි.</verse>
				<verse number="37">එවිට රජ ගෙදර ප්‍රධානියන් වන හිල්කියාගේ පුත් එලියාකිම් නම් ගෘහාධිපතියා ද ෂෙබ්නා ලේකම් ද වාර්තාකරු වන ආසාප්ගේ පුත් ජෝවා ද දුකින් තමන්ගේ ඇඳුම් ඉරාගෙන හෙසකියා ළඟට අවුත් රබ්-ෂාකේගේ වචන ඔහුට දැන්වූ හ.</verse>
			</chapter>
			<chapter number="19">
				<verse number="1">හෙසකියා රජ ඒ අසා දුකින් තම ඇඳුම් ඉරාගෙන, ගෝණි රෙදි පොරවාගෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු විය.</verse>
				<verse number="2">තවද, ඔහු රජ ගෙදර ප්‍රධානියා වන එලියාකිම්ට ද ෂෙබ්නා ලේකම්ට ද පූජකයන්ගේ මූලිකයන්ට ද ගෝණි රෙදි හඳවා ආමොස්ගේ පුත් යෙසායා දිවැසිවරයා ළඟට යැවී ය.</verse>
				<verse number="3">ඔව්හු ඔහුට කතා කොට, “හෙසකියා මෙසේ කියන්නේ ය: ‘අද දවස දුක ද තරවටුව ද අපහාසය ද ඇති දවසකි. මන්ද, ළදරුවන් බිහි වන්නට ළං ව සිටින නමුත්, ප්‍රසූත කරන්නට ශක්තිය නැත.</verse>
				<verse number="4">ජීවමාන දෙවියන් වහන්සේට අපහාස කරන්නට අසිරියාවේ රජු එවූ ඔහුගේ සේවක වන රබ්-ෂාකේගේ සියලු වචන සමහර විට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අසා, ඒ ඇසූ වචනවලට උන් වහන්සේ දඬුවම් කරන සේක. එබැවින් තව ම ඉතිරි ව සිටින්නන් උදෙසා යාච්ඤා ඔප්පු කරන්න’ කියා පවසන්නැ”යි කී හ.</verse>
				<verse number="5">මෙසේ කියා හෙසකියා රජුගේ මෙහෙකරුවෝ යෙසායා ළඟට පැමිණිය හ.</verse>
				<verse number="6">යෙසායා ඔවුන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ඔබට ඇසුණු අසිරියාවේ රජුගේ සේවකයන් විසින් මට අපහාස කොට කියන ලද වචනවලට බිය නොවන්න.</verse>
				<verse number="7">ඔහු ආරංචියක් අසා තමාගේ දේශයට හැරී යන ලෙස මම ඔහුගේ සිතට අදහසක් දමා, ඔහුගේ දේශයේ දී ඔහු කඩුවෙන් මැරී වැටෙන්නට සලස්වන්නෙමි’යි කියා ඔබේ ස්වාමියාට දන්වන්නැ”යි කී ය.</verse>
				<verse number="8">අසිරියාවේ රජු ලාකීෂ්හි සිට පිටත් ව ගිය බව රබ්-ෂාකේ අසා, ඔහු හැරී ගිය විට, රජු ලිබ්නාට විරුද්ධ ව යුද්ධ කරන බව දැනගත්තේ ය.</verse>
				<verse number="9">“කුෂ්හි රජු වන තිර්හාකා රජ ඔබට විරුද්ධ ව යුද්ධ කරන්නට එන්නේ යැ”යි ඔහුට සැළ විය. එවිට ඔහු හෙසකියා ළඟට නැවත දූතයන් එවා,</verse>
				<verse number="10">“ඔබ ජුදාහි රජු වන හෙසකියාට මෙසේ කියන්න: අසිරියාවේ රජු අතට ජෙරුසලම අසු නොවන්නේ ය කියා ඔබ විශ්වාස කරන ඔබේ දෙවියන් වහන්සේට නොරැවටෙන්න.</verse>
				<verse number="11">මෙන්න, අසිරියාවේ රජවරුන් සියලු දේශවලට කළ දේ එනම්, ඒවා විනාශ කරදැමූ බව ඔබ අසා තිබේ. එසේ නම්, ඔබ ගැළවෙනු ඇද් ද?</verse>
				<verse number="12">මාගේ පියවරුන් නැති කළ ගෝශාන් ද හාරාන් ද රෙශෙප් ද තෙලෙස්සාර්හි සිටි ඒදෙන් ජාතිකයන් ද යන ජාතීන්ගේ දෙවිවරු ඔවුන් ගළවා ගත්තෝ ද?</verse>
				<verse number="13">හමාත්හි රජ ද අර්පාද්හි රජ ද සෙපර්වයිම් නුවරත්, හේනාහිත්, ඉව්වාහිත් රජ ද කොතැන දැ”යි ඇසී ය.</verse>
				<verse number="14">හෙසකියා පණිවුඩකාරයන් අතින් ලියුම ගෙන කියවා, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගොස්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි එය විදහා පා,</verse>
				<verse number="15">උන් වහන්සේ ඉදිරියෙහි යාච්ඤා කරමින්, “කෙරුබ්වරුන් අතර වැඩ වසන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ, පොළොවේ සියලු රාජ්‍යයන් කෙරෙහි ඔබ ම, ඔබ පමණක් ම, දෙවියන් වහන්සේ ය; ඔබ අහසත්, පොළොවත් මැවූ සේක.</verse>
				<verse number="16">සමිඳාණන් වහන්ස, ඔබේ කන යොමු කොට ඇසුව මැනව; සමිඳාණන් වහන්ස, ඔබේ ඇස් ඇර බැලුව මැනව; ජීවමාන දෙවියන් වහන්සේට අපහාස කරන පිණිස සෙනකෙරිබ් කියා එවූ වචන ඇසුව මැනව;</verse>
				<verse number="17">සමිඳාණන් වහන්ස, අසිරියාවේ රජවරුන් ජාතීන් ද ඔවුන්ගේ දේශ ද පාළු කොට,</verse>
				<verse number="18">ඔවුන්ගේ දෙවිවරුන් ගින්නෙහි හෙළුවා සැබෑ ය. මන්ද, ඒවා දෙවිවරුන් නොව මනුෂ්‍යයන්ගේ හස්ත කර්මාන්ත වන ලී සහ ගල් ය. ඒ නිසා ඔව්හු ඒවා විනාශ කළහ.</verse>
				<verse number="19">එබැවින් අපේ දෙවියන් වහන්ස, ඔබ ම, ඔබ පමණක් ම, ස්වාමීන් වන දෙවියන් වහන්සේ බව පොළොවේ සියලු රාජ්‍ය දැනගන්න පිණිස ඔහුගේ අතින් අප ගැළෙව්ව මැනව”යි කී ය.</verse>
				<verse number="20">එවිට ආමොස්ගේ පුත් යෙසායා හෙසකියාට මෙසේ කියා යැවී ය: “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: අසිරියාවේ රජු වන සෙනකෙරිබ් ගැන ඔබ මට කළ යාච්ඤාව මම ඇසීමි.</verse>
				<verse number="21">ඔහු ගැන සමිඳාණන් වහන්සේ කියන පණිවුඩය මේ ය: සියොන් පුරඟන නුඹ සුළු කොට සලකන්නී ය; නුඹට කවටකම් කරන්නී ය; ජෙරුසලම්හි දුව හිස වන වනා, නුඹට උසුළු-විසුළු කරන්නී ය.</verse>
				<verse number="22">නුඹ නින්දා කෙළේත්, අපහාස කෙළේත් කවරෙකුට ද? නුඹ මොරගැසුවේත්, නුඹ රවා බැලුවේත් කවරෙකුට විරුද්ධ ව ද? ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැන් වහන්සේට විරුද්ධ ව ය.</verse>
				<verse number="23">නුඹේ දූතයන් ලවා නුඹ සමිඳාණන් වහන්සේට නින්දා කරවා කතා කොට, මාගේ රථ සමූහය හා සමඟ මම කඳු මුදුනට එනම්, ලෙබනොන්හි ඈත ප්‍රදේශවලට නැඟුණෙමි. එහි උස් වූ කිහිරි ගස් ද අනර්ඝ දේවදාර ගස් ද කපාදමා, එහි දුරස්තර නිවාසවලටත්, උයනක් වැනි එහි වනයටත් ඇතුළු වන්නෙමි.</verse>
				<verse number="24">මම ළිං හාරා අන්‍ය දේශවල වතුර බීවෙමි, මම මිසරයේ සියලු ගංගා පිට ඇවිද ඒවා හින්දවන්නෙමි යි කීවෙහි ය.</verse>
				<verse number="25">“මම බොහෝ කාලයක සිට එය අභිප්‍රාය කර පෙර සිට ම එය නියම කළ බව නුඹ ඇසුවේ නැද් ද? දැන් නුඹ පවුරු ඇති නගර නාස්ති කොට, ජරාවාස ගොඩවල් කරන හැටියට එය ඉෂ්ට කෙළෙමි.</verse>
				<verse number="26">එබැවින් ඒවායේ වැසියෝ බෙලහීන ව සිටියහ. ඔව්හු කැළඹී වියවුලට පත් වූ හ. ඔව්හු කෙතේ තෘණ ද අමු පල ද පියසි උඩ තණ කොළ ද වැඩෙන්න පළමුවෙන් වියළුණු ගොයම් ද මෙන් වූ හ.</verse>
				<verse number="27">“එහෙත්, මම නුඹේ හිඳීම ද නුඹේ යාම ඊම ද මට විරුද්ධ ව තිබෙන නුඹේ කැරලිකාරකම ද දනිමි.</verse>
				<verse number="28">මට විරුද්ධ ව තිබෙන නුඹේ කැරලිකාරකම නිසා ද නුඹේ අහංකාරය මාගේ කන්වලට පැමිණි නිසා ද නුඹේ නාසයේ මාගේ වළල්ලත්, නුඹේ කටේ මාගේ කටකලියාවත් දමා නුඹ ආ මාර්ගයෙන් නුඹ හරවා යවන්නෙමි.</verse>
				<verse number="29">“මෙය නුඹට ලකුණක් වන්නේ ය. එනම්, මේ අවුරුද්දේ ඉබේ ම හටගන්න ධාන්‍ය සහ දෙ වන අවුරුද්දේ එයින් හටගන්න ඒවාත් නුඹලා කනු ඇත. තුන් වන අවුරුද්දේ නුඹලා අස්වැන්න වපුරා කපාගන්න. මිදි වතුත් වවා ඒවායේ පල කන්න.</verse>
				<verse number="30">ජුදා වංශයෙන් ගැළවී ඉතිරි කුඩා පිරිස නැවත ගසක් මෙන් යටට මුල් ඇද ඉහළින් පල දරනු ඇත.</verse>
				<verse number="31">මන්ද, ඉතිරි කුඩා පිරිස ජෙරුසලමෙන් ද මිදුණු පිරිස සියොන් කන්දෙන් ද නික්මෙනු ඇත. සමිඳාණන් වහන්සේ මෙය කිරීමට අධිෂ්ඨාන කළ සේක.</verse>
				<verse number="32">“එබැවින් සමිඳාණන් වහන්සේ අසිරියාවේ රජු ගැන මෙසේ කියන සේක: ‘අසිරියාවේ රජ මේ නගරයට ඇතුළුවන්නේ වත්, ඊගහක් ඊට විදින්නේ වත්, ඉදිරි පිටට පලිහක් රැගෙන එන්නේ වත්, ඊට විරුද්ධ ව ගොඩැල්ලක් නඟන්නේ වත්, නැත.</verse>
				<verse number="33">ඔහු මේ නුවර තුළට නෑවිත් තමා ආ මඟින් හැරී යන්නේ ය. සමිඳාණන් වහන්සේ වන මම මෙසේ වදාරමි.</verse>
				<verse number="34">මක්නිසා ද, මා නිසාත්, මාගේ මෙහෙකරු වූ දාවිත් නිසාත් මේ නුවර ගළවන්න මම එය රැකගන්නෙමි.’ “</verse>
				<verse number="35">ඒ රාත්‍රියේ සමිඳාණන් වහන්සේගේ දූතයා පිටත් ව ගොස් අසිරියන්වරුන්ගේ කඳවුරෙහි එක්ලක්ෂ අසූපන්දහසකට පහර දුන්නේ ය. මිනිසුන් අලුයම නැඟිට බලන විට, ඒ සියල්ලෝ මැරී සිටියහ.</verse>
				<verse number="36">එවිට අසිරියාවේ රජු වන සෙනකෙරිබ් පිටත් ව ගොස් නිනිවෙහි වාසය කෙළේ ය.</verse>
				<verse number="37">තවද, ඔහු තමාගේ දෙවි නිස්රොක්ගේ ගෘහයෙහි නමස්කාර කරද්දී ඔහුගේ පුත්‍රයන් වන අද්‍රම්මෙලෙක් ද ෂරෙශෙර් ද ඔහු කඩුවෙන් මරා අරාරාත් දේශයට පලා ගියහ. ඔහුගේ පුත් ඒසර්-හද්දොන් ඔහු වෙනුවට රජ විය.</verse>
			</chapter>
			<chapter number="20">
				<verse number="1">ඒ කාලයේ දී හෙසකියා රෝගී ව මරණාසන්න විය. ආමොස්ගේ පුත් යෙසායා දිවැසිවරයා ඔහු ළඟට අවුත්, “නුඹේ කටයුතු පිළියෙළ කර තබන්න. මන්ද, නුඹ මැරෙන්නෙහි ය. ජීවත් නොවන්නෙහි ය කියා සමිඳාණන් වහන්සේ කියන සේකැ”යි ඔහුට කී ය.</verse>
				<verse number="2">එවිට ඔහු තමාගේ මුහුණ බිත්තිය දෙසට හරවාගෙන සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින්,</verse>
				<verse number="3">“අහෝ, සමිඳුනි, මා සැබෑකමිනුත්, සම්පූර්ණ සිතකිනුත් ඔබ ඉදිරියෙහි හැසිර ඔබේ ඇස් හමුයෙහි හරි දේ කළ බව සිහි කළ මැනව”යි අතිශයින් හැඬුවේ ය.</verse>
				<verse number="4">යෙසායා මළුව දක්වා යන්නට පළමුවෙන් සමිඳාණන් වහන්සේගේ වචනය ඔහු වෙත පැමිණ කියනුයේ,</verse>
				<verse number="5">“නුඹ හැරී ගොස් මාගේ සෙනඟගේ අධිපතියා වන හෙසකියාට මෙසේ කියන්න: ‘නුඹේ පියා වූ දාවිත්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මම නුඹේ යාච්ඤාව ඇසීමි, නුඹේ කඳුළු දිටිමි. බලන්න, මම නුඹ සුවපත් කරන්නෙමි. තුන් වන දින නුඹ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යන්නෙහි ය.</verse>
				<verse number="6">නුඹේ වයසට පහළොස් අවුරුද්දක් එකතු කරන්නෙමි. මම අසිරියාවේ රජුගේ අතින් නුඹ සහ මේ නුවර ගළවා මා නිසාත්, මාගේ මෙහෙකරු වූ දාවිත් නිසාත්, මේ නුවර රැකගන්නෙමි’ කියා කියන්නැ”යි පැවසී ය.</verse>
				<verse number="7">එවිට යෙසායා, “අත්තික්කා පැලැස්තරයක් ගෙනෙ‍න්නැ”යි කී ය. ඔව්හු එය ගෙනවුත් එය වණය පිට තැබුවෝ ය. එවිට රජ සුවපත් විය.</verse>
				<verse number="8">හෙසකියා යෙසායාට කතා කොට, “සමිඳාණන් වහන්සේ මා සුවපත් කරන බවටත්, තුන් වන දා මා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යන බවටත් ලකුණ කිමෙක් දැ”යි ඇසී ය.</verse>
				<verse number="9">යෙසායා කතා කොට, “සමිඳාණන් වහන්සේ වදාළ දේ කරන බවට සමිඳාණන් වහන්සේගෙන් ඔබට ලැබෙන ලකුණ මේ ය: එනම්, පඩි පෙළේ ඡායාව අංශක දසයක් ඉස්සරහට යනවාට හෝ පස්සට හැරී එනවාට හෝ කැමැති දැ”යි ඇසී ය.</verse>
				<verse number="10">හෙසකියා ද, “ඡායාව අංශක දසයක් ඉස්සරහට යන එක සුළු දෙයකි, එසේ නොව ඡායාව අංශක දසයක් පස්සට හැරී ඒ වා”යි කී ය.</verse>
				<verse number="11">එවිට දිවැසිවර යෙසායා සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. උන් වහන්සේ ආහාස්ගේ පඩි පෙළේ ඡායාව බැස ගිය තැනින් අංශක දසයක් පස්සට පැමිණෙවු සේක.</verse>
				<verse number="12">ඒ කාලයේ දී බලදාන්ගේ පුත් බබිලෝනියේ රජු වන මෙරොදක්-බලදාන් හෙසකියා රෝගී ව සිටි බවත්, ඔහු සුවය ලැබූ බවත් අසා ලියුම් ද තෑග්ගක් ද ඔහු වෙත යැවී ය.</verse>
				<verse number="13">හෙසකියා ඔවුන්ට ඇහුම්කන් දී තමාගේ මුළු සම්පත් ගබඩාව ද එහි තිබූ රන් රිදී ද සුවඳ ද්‍රව්‍ය ද අනර්ඝ තෙල් ද තමාගේ මුළු යුද්ධායුධ ගබඩා ද තමාගේ ගබඩාවල තිබුණු සියල්ල ද ඔවුන්ට පෙන්වී ය. තමාගේ ගෙදර වත්, මුළු රාජ්‍යයෙහි වත් හෙසකියා ඔවුන්ට නොපෙන්නූ කිසිවක් නො වී ය.</verse>
				<verse number="14">එවිට දිවැසිවර යෙසායා හෙසකියා රජු ළඟට අවුත්, “ඒ මනුෂ්‍යයෝ කුමක් කීවෝ ද? ඔව්හු කොතැනින් ඔබ වෙත ආවෝ දැ”යි ඔහුගෙන් ඇසී ය. හෙසකියා උත්තර දෙමින්, “ඔව්හු දුර රටක් වන බබිලෝනියේ සිට ආවෝ ය”යි කී ය.</verse>
				<verse number="15">එවිට ඔහු, “ඔව්හු ඔබේ ගෙයි කුමක් දුටුවෝ දැ”යි ඇසී ය. “මාගේ ගෙයි තිබෙන සියල්ල ඔව්හු දුටුවෝ ය. මාගේ වස්තු අතරෙහි මා විසින් නොපෙන්වන ලද කිසිවක් නැතැ”යි හෙසකියා කී ය.</verse>
				<verse number="16">එවිට යෙසායා හෙසකියාට කතා කොට, “සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න:</verse>
				<verse number="17">‘බලන්න, නුඹේ ගෙයි තිබෙන සියල්ලත්, නුඹේ පියවරුන් අද දක්වා රැස් කර තිබූ දේවලුත් කිසිවක් ඉතිරි නොකොට බබිලෝනියට ගෙන යන දවස් පැමිණෙන්නේ ය.</verse>
				<verse number="18">නුඹ තුළින් නික්මෙන නුඹට දාව උපදින නුඹේ පුත්‍රයන්ගෙන් සමහරෙක් බබිලෝනියේ රජුගේ මාලිගාවෙහි නපුංසකයන් වන පිණිස ගනු ලබන්නෝ ය’ කියා සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කීවේ ය.</verse>
				<verse number="19">එවිට හෙසකියා, “ඔබ කී සමිඳාණන්ගේ වචනය යහපත් ය”යි යෙසායාට කී ය. තවද, ඔහු “සාමදානයත්, ආරක්ෂාවත් මාගේ ජීවිත කාලයේ දී ඇත්නම් හොඳ‍ නොවේ දැ”යි යෙසායාට කී ය.</verse>
				<verse number="20">හෙසකියාගේ අනෙක් ක්‍රියා ද ඔහුගේ සියලු බලවන්තකම් ද ඔහු පොකුණ සහ ජල කාණුවත් සාදා නුවරට වතුර ගෙනා හැටි ද ජුදාහි රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?</verse>
				<verse number="21">හෙසකියා මියගියේ ය. ඔහුගේ පුත් මනස්සේ ඔහු වෙනුවට රජ විය.</verse>
			</chapter>
			<chapter number="21">
				<verse number="1">මනස්සේ දොළොස් අවුරුදු වයසේ දී රජ වී පණස්පස් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම හෙප්ශිබා ය.</verse>
				<verse number="2">සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් පන්නා දැමූ විජාතීන්ගේ පිළිකුල් ක්‍රියා ලෙස ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.</verse>
				<verse number="3">තමාගේ පිය වූ හෙසකියා නැති කළ ගිරිකුළු දේවාල ඔහු නැවත ගොඩනඟා, බාල් දෙවියාට පූජාසන තනා, ඉශ්රායෙල්හි රජ වූ ආහාබ් සෑදූ පරිදි අෂේරා කප් කණු ද සෑදුවේ ය. ඔහු ආකාශ වස්තූන් සියල්ලට නමස්කාර කරමින් ඒවාට සේවය කෙළේ ය.</verse>
				<verse number="4">තවද, ‘මාගේ නාමය ජෙරුසලමෙහි තබන්නෙමි’යි සමිඳාණන් වහන්සේ යම් මාලිගාවක් ගැන වදාළ සේක් ද ඒ මාලිගාවෙහි ඔහු පූජාසන ගොඩනැඟුවේ ය.</verse>
				<verse number="5">සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි මළු දෙකෙහි මුළු ආකාශ වස්තූන්ටත් පූජාසන ගොඩනැඟුවේ ය.</verse>
				<verse number="6">ඔහු තමාගේ පුත්‍රයා ගිනි මැදින් යවා පූජා කෙළේ ය. මායම් හා ශාස්ත්‍ර බැලීම් ද භාවිතා කරමින් ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද පත් කෙළේ ය. ඔහු සමිඳාණන් වහන්සේ කෝප කරවන හැටියට උන් වහන්සේගේ ඇස් හමුයෙහි බොහෝ නපුරු දේ කෙළේ ය.</verse>
				<verse number="7">තමා සෑදූ අෂේරා කප් කණු හා රූප ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තැබී ය. ඒ මාලිගාව ගැන සමිඳාණන් වහන්සේ දාවිත්ටත්, ඔහුගේ පුත් සලමොන්ටත් කතා කොට, “මේ මාලිගාවෙහි ද මා විසින් සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් තෝරාගනු ලැබූ ජෙරුසලමේ ද මාගේ නාමය සදහට ම තබන්නෙමි.</verse>
				<verse number="8">මා විසින් ඉශ්රායෙල්වරුන්ට අණ කරන ලද සියල්ල ප්‍රකාරයට ද මාගේ සේවක මෝසෙස් ඔවුන්ට අණ කළ මුළු ව්‍යවස්ථාවේ ප්‍රකාරයට ද කරන්නට ඔවුන් බලාගත්තොත්, ඔවුන්ගේ පියවරුන්ට මා විසින් දෙන ලද දේශයෙන් ඔවුන්ගේ පාද තවත් මුළා ව යන්නට නොසලස්වන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="9">එහෙත්, ඔව්හු ඇහුම්කන් නුදුන්නෝ ය. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් විනාශ කළා වූ විජාතීන්ට වඩා නපුරුකම් කරන ලෙස මනස්සේ ඔවුන් මුළා කෙළේ ය.</verse>
				<verse number="10">සමිඳාණන් වහන්සේ තමන් මෙහෙකරු වන දිවැසිවරුන් ලවා කතා කරවා,</verse>
				<verse number="11">“ජුදාහි රජ වන මනස්සේ මේ පිළිකුල්කම් කරමින්, ඔහුට පළමුවෙන් සිටි අමෝරිවරුන් කළ සියල්ලට වඩා නපුරුකම් කොට ජුදාවරුන් ද තමාගේ දේව රූපවලින් පාපයට පෙළඹවූ නිසා,</verse>
				<verse number="12">ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘බලන්න, අසන සියල්ලන්ගේ කන් දෙක රත් වන තරම් මම ජෙරුසලම සහ ජුදාවරුන් පිට විපත්ති පමුණුවන්නෙමි.</verse>
				<verse number="13">තවද, සමාරිය මැන්න ලණුව ද ආහාබ්ගේ වංශයේ ලඹකැටය ද ජෙරුසලම් නුවර පිට අල්ලා, මනුෂ්‍යයෙකු තැටියක් පිසදමා, පිසදැමූ පසු එය මුණින් පෙරළා තබන පරිදි ජෙරුසලම පිසදමා,</verse>
				<verse number="14">මම මාගේ උරුමයෙන් ඉතිරි කුඩා පිරිස අත්හැරදමා ඔවුන් තමන්ගේ සියලු සතුරන්ට ගොදුරක් ද කොල්ලයක් ද වන පිණිස ඔවුන්ගේ සතුරන් අතට පාවා දෙන්නෙමි.</verse>
				<verse number="15">මන්ද, ඔවුන්ගේ පියවරුන් මිසරයෙන් පිටත් ව ආ දවස පටන් අද දවස දක්වා ම ඔව්හු මාගේ ඇස් හමුයෙහි නපුරු දේ කොට මා කෝප කළෝ ය’ කියා වදාරන සේකැ”යි කියෙවූ සේක.</verse>
				<verse number="16">තවද, සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කරන ලෙස, එසේ, ජුදා ගෝත්‍රය පාපයට පෙළඹවීමෙන් ඔහු විසින් කරන ලද පාපය හැර, ඔහු ජෙරුසලමෙහි එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා පිරෙන තෙක් නිදොස් ලේ බොහෝ කොට වැගිර වී ය.</verse>
				<verse number="17">මනස්සේගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඔහු කළ පාපය ද ගැන ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?</verse>
				<verse number="18">මනස්සේ මියගිය පසු තමාගේ ගෙට අයිති උයන වන උශ්ශාගේ උයනෙහි තැන්පත් කරනු ලැබුවේ ය. ඔහුගේ පුත් ආමොන් ඔහු වෙනුවට රජ විය.</verse>
				<verse number="19">ආමොන් විසි අවුරුදු වයසේ දී රජ වී දෑවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම මෙෂුල්ලෙමෙත් ය. ඈ ජොත්බාහි හාරුශ්ගේ දුවකි.</verse>
				<verse number="20">ආමොන් තමාගේ පියා වූ මනස්සේ කළ ලෙස සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කොට,</verse>
				<verse number="21">තම පියාගේ අඩි පාරේ යමින්, තමාගේ පියා වැඳුම්පිදුම් කළ දේව රූපවලට වැඳුම්පිදුම් කරමින් ඒවාට නමස්කාර කෙළේ ය.</verse>
				<verse number="22">ඔහු සමිඳාණන් වහන්සේගේ මාර්ගයෙහි නොහැසිර තමාගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත් හැරියේ ය.</verse>
				<verse number="23">ආමොන් රජුගේ සේවකයෝ ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට ඔහුගේ ගෙදර දී ඔහු මැරූ හ.</verse>
				<verse number="24">එහෙත්, දේශයේ සෙනඟ, ආමොන් රජුට විරුද්ධ ව කුමන්ත්‍රණය කළ සියල්ලන් මරා ඔහුගේ පුත් ජොෂියා ඔහු වෙනුවට රජකමට පත් කළහ.</verse>
				<verse number="25">ආමොන් කළ අනෙක් ක්‍රියා ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?</verse>
				<verse number="26">උශ්ශාගේ උයනේ තිබූ ඔහුගේ පියාගේ සොහොන්ගෙයි ඔහු තැන්පත් කරනු ලැබුවේ ය. ඔහුගේ පුත් ජොෂියා ඔහු වෙනුවට රජ විය.</verse>
			</chapter>
			<chapter number="22">
				<verse number="1">ජොෂියා අට අවුරුදු වයසේ දී රජ වී තිස්එක් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම ජෙදිදා ය. ඈ බෝශ්කාත්හි අදායාගේ දුවකි.</verse>
				<verse number="2">ජොෂියා සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කොට, ආඥා අකුරට ම පිළිපැද තම පිය වූ දාවිත්ගේ මුළු මාර්ගයෙහි ගමන් කෙළේ ය.</verse>
				<verse number="3">ජොෂියා රජ තමාගේ දහඅට වන අවුරුද්දේ දී මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන අශ්ලියාගේ පුත් ෂාපාන් ලේකම් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යවමින් කතා කොට,</verse>
				<verse number="4">“ඔබ නායක පූජකයා වන හිල්කියා වෙත ගොස්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙ‍න ලද, දොරටු පාලකයන් සෙනඟගෙන් එකතු කරගත් මුදල් භාර දෙන ලෙස ඔහුට දන්වන්න.</verse>
				<verse number="5">ඒවා සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි වැඩ කරවීමට පත් ව සිටින තැනැත්තන් අතට දිය යුතු ය. ඔව්හු ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි කැඩුම්-බිඳුම් ප්‍රතිසංස්කරණය කිරීමට කර්මාන්තකාරයන් වන</verse>
				<verse number="6">වඩුවන්ටත්, ගොඩනඟන්නන්ටත්, පෙදරේරුවන්ටත් මාලිගාව අලුත්වැඩියා කිරීමට ලී සහ කැපූ ගල් ද මිලයට ගැනීම පිණිස ඒවා දිය යුතු ය”යි කී හ.</verse>
				<verse number="7">එසේ වී නමුත්, ඔවුන් විශ්වාස ලෙස කටයුතු කළ බැවින් ඔවුන් අතට දුන් මුදල ගැන ඔවුන්ගෙන් අය වැය වාර්තාවක් නොගන්න ලදී.</verse>
				<verse number="8">නායක පූජක වන හිල්කියා ලේකම් වන ෂාපාන්ට කතා කොට, “ව්‍යවස්ථා පොත සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි මට සම්බ විය” කියා පොත ෂාපාන්ට දුන්නේ ය; ඔහු එය කියවී ය.</verse>
				<verse number="9">ලේකම් වන ෂාපාන් තෙම රජු ළඟට හැරී අවුත්, “මාලිගාවෙහි තිබූ මුදල් ඔබේ සේවකයෝ රැගෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි වැඩ කරවීමට පත් ව සිටින්නන් අතට දුන්නෝ ය”යි රජුට කී ය.</verse>
				<verse number="10">ලේකම් වන ෂාපාන් කතා කොට, “පූජක වන හිල්කියා පොතක් මට දුන්නේ ය”යි රජුට දන්වා එය රජු ඉදිරියෙහි කියවී ය.</verse>
				<verse number="11">රජු ඒ ව්‍යවස්ථා පොතේ වචන ඇසූ කල පුදුම වී, තමාගේ ඇඳුම් ඉරාගෙන,</verse>
				<verse number="12">පූජක හිල්කියාටත්, ෂාපාන්ගේ පුත් අහිකාම්ටත්, මීකායාගේ පුත් අක්බොර්ටත්, ලේකම් වන ෂාපාන්ටත්, රජුගේ සේවකයා වන අසායාටත් අණ කොට,</verse>
				<verse number="13">“ඔබ ගොස් මේ සම්බ වූ පොතේ වචන මා උදෙසාත්, සෙනඟ උදෙසාත්, සියලු ජුදාවරුන් උදෙසාත් සමිඳාණන් වහන්සේගෙන් විචාරන්න. මන්ද, අප ගැන ලියා තිබෙන සියල්ලේ ප්‍රකාරයට කරන ලෙස අපේ පියවරුන් මේ පොතේ වචනවලට ඇහුම්කන් නුදුන් නිසා අප කෙරෙහි ඇවිළ තිබෙන සමිඳාණන් වහන්සේගේ උදහස ඉමහත් ය”යි කී ය.</verse>
				<verse number="14">එවිට පූජක හිල්කියා ද අහිකාම් ද අක්බොර් ද ෂාපාන් ද අසායා ද හර්හස්ගේ පුත්‍රයා වන තික්වාගේ පුත් වස්ත්‍ර භාරකාරයා වන ෂල්ලුම්ගේ භාර්යාව වන හුල්දා නම් දිවැසිවරිය ළඟට ගොස් ඈට කතා කෙළේ ය. ඈ ජෙරුසලමේ තම නගරයෙහි වාසය කළා ය.</verse>
				<verse number="15">ඈ ඔවුන් අමතා, “ඉශ්රායෙල්හි දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ඔබ මා වෙත එවූ මනුෂ්‍යයාට සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න.</verse>
				<verse number="16">මම මේ ස්ථානය පිටත්, මෙහි වැසියන් පිටත් ජුදාහි රජු විසින් කියවුණු පොතේ සියලු වචනවල හැටියට විපත් පමුණුවන්නෙමි.</verse>
				<verse number="17">ඔවුන් මා අත්හැර ඔවුන් කළ සියලු ක්‍රියාවලින් මා කෝප කරවන ලෙස වෙන දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කළ බැවින්, මාගේ උදහස මේ ස්ථානයට විරුද්ධ ව ඇවිළෙන්නේ ය. එය නිවෙන්නේ නැත.</verse>
				<verse number="18">එහෙත්, සමිඳාණන් වහන්සේගෙන් විචාරන පිණිස නුඹලා එවූ ජුදාහි රජුට මෙසේ කියන්න, නුඹ ඇසූ වචන ගැන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:</verse>
				<verse number="19">මේ ස්ථානය පාළු වී ඊට සාප වේ වා! කියා මා මේ ස්ථානයටත්, මෙහි වැසියන්ටත් විරුද්ධ ව කියා තිබෙන කාරණා නුඹ ඇසූ විට නුඹේ සිත මෘදු වී, නුඹ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යටහත් වී, දුකින් නුඹේ ඇඳුම් ඉරාගෙන මා ඉදිරියෙහි හැඬූ නිසා, මමත් නුඹට ඇහුම්කන් දුන්නෙමි.</verse>
				<verse number="20">එබැවින් නුඹේ පියවරුන් ළඟට නුඹ පමුණුවන්නෙමි. මා විසින් මේ ස්ථානයට පමුණුවනු ලබන සියලු ම විපත්ති නුඹේ ඇස්වලින් නොදැක, නුඹේ සොහොනට නුඹ සාමදානයෙන් පැමිණෙන්නෙහි ය’යි කියා වදාරන සේකැ”යි කීවා ය. ඔව්හු හැරී අවුත් රජුට එය සැළ කළෝ ය.</verse>
			</chapter>
			<chapter number="23">
				<verse number="1">එවිට රජ තෙම ජුදාහි ද ජෙරුසලමෙහි ද සියලු ප්‍රජා මූලිකයන් තමා ළඟට රැස් කරවාගෙන,</verse>
				<verse number="2">ජුදාහි සියලු වැසියන් ද ජෙරුසලමේ සියලු වැසියන් ද පූජකයන් ද දිවැසිවරයන් ද ලොකු කුඩා සියලු සෙනඟ ද සමඟ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගොස් උන් වහන්සේගේ මාලිගාවෙහි සම්බ වූ ගිවිසුම් පොතේ සියලු වචන ඔවුන් අසාගෙන සිටිද්දී කියවී ය.</verse>
				<verse number="3">තවද, රජ කුළුණ ළඟ සිට, ඒ පොතේ ලියා තිබූ ඒ ගිවිසුමේ වචන ඉෂ්ට කරන පිණිස සමිඳාණන් වහන්සේ අනුව යන ලෙසත්, උන් වහන්සේගේ ආඥා ද ශික්ෂා ද පණත් ද මුළු හෘදයෙන් හා මුළු සිතින් පිළිපදින ලෙසත් උන් වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්තේ ය. මුළු සෙනඟ ද ගිවිසුමට එකඟ වූ හ.</verse>
				<verse number="4">එවිට බාල් දෙවියාත්, අෂේරා දේවතාවියත්, ආකාශ වස්තූන් සියල්ලත් නමදින පිණිස සාදා තිබුණ සියලු භාජන සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙන් පිටතට ගෙන යන පිණිස නායක පූජක හිල්කියාටත්, දෙ වන පංතියේ පූජකයන්ටත්, දොරටු පාලකයන්ටත් රජ අණ කෙළේ ය. ඔහු ජෙරුසලමෙන් පිටත කිද්‍රොන් මිටියාවතේ ඒවා පුළුස්සාදමා, ඒවායේ අළු බෙතෙල් නගරයට ගෙනාවේ ය.</verse>
				<verse number="5">ජුදාහි නගරවල ද ජෙරුසලම වටකර ද තිබූ කඳු මත පූජාස්ථානවල සුවඳ දුම් ඔප්පු කරන පිණිස ජුදාහි රජුන් විසින් පත් කරන ලද කපුවන් ද බාල්ට සහ ඉර සඳටත්, ග්‍රහ තාරකාවලට සහ ආකාශ වස්තූන් සියල්ලටත් සුවඳ දුම් ඔප්පු කළ කපුවන් ද ඔහු පහකෙළේ ය.</verse>
				<verse number="6">ඔහු අෂේරා කප් කණුව සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙන් ඉවත් කොට ජෙරුසලමෙන් පිට කිද්‍රොන් ඔයට ගෙන ගොස්, කිද්‍රොන් ඔය ළඟ පුළුස්සාදමා කුඩු කර, ඒ කුඩු පොදු සෙනඟගේ සොහොන් බිමෙහි විසුරුවා දැමී ය.</verse>
				<verse number="7">සමිඳාණන් වහන්සේගේ මාලිගාව ළඟ තිබූ අෂේරා කප් කණුවලට තිර වියූ ස්ත්‍රීන් විසූ සල්ලාලයන්ගේ ගෙවලුත් ඔහු බිඳ දැමී ය.</verse>
				<verse number="8">තවද, ඔහු ජුදාහි නගරවලින් සියලු පූජකයන් කැඳවාගෙන, ගෙබා පටන් බෙයර්-ෂෙබා දක්වා පූජකයන් විසින් සුවඳ දුම් ඔප්පු කරන ලද කඳු මත පූජාස්ථාන දූෂ්‍ය කෙළේ ය. දොරටු ළඟ තිබූ කඳු මත පූජාස්ථාන ද නුවර අධිපතියා වූ ජෝෂුවාගේ දොරටුව වන නුවර දොරටුවට වම් පැත්තෙහි තිබුණ කඳු මත පූජාස්ථාන ද කඩා දැමී ය.</verse>
				<verse number="9">එසේ වී නමුත්, කඳු මත පූජාස්ථානවල පූජකයෝ තමන්ගේ සහෝදරයන් සමඟ මුහුන් නොදැමූ රොටි කෑ හ. එහෙත්, ඔව්හු ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ පූජාසනය ළඟට නාවෝ ය.</verse>
				<verse number="10">කිසිවෙකු තමාගේ පුත්‍රයෙකු වත්, දුවක වත් මොලෙක් දෙවියාට ගින්නෙන් කැප නොකරන පිණිස ඔහු හින්නොම් පුත්‍රයන්ගේ මිටියාවතෙහි තිබුණ තොපෙත් නම් ගිනි උදුන දූෂ්‍ය කෙළේ ය.</verse>
				<verse number="11">ජුදාහි රජුන් හිරු දෙවියාට කැප කළ අශ්වයන් ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වන තැනින් ඉවත් කෙළේ ය. ඒවා උප නගරයෙහි සිටි ඇමතියා වන නාතාන්-මෙලෙක්ගේ කාමරය අසල මළුවේ තබා තිබුණි. ඔහු හිරු දෙවියාගේ රථය ද ගින්නෙන් පුළුස්සා දැමී ය.</verse>
				<verse number="12">ඔහු ආහාස්ගේ උඩුමහලේ පියස්ස උඩ තිබූ ජුදාහි රජවරුන් සෑදූ පූජාසන ද සමිඳාණන් වහන්සේගේ මිදුල් දෙකෙහි මනස්සේ විසින් සාදන ලද පූජාසනය ද කඩා, එතනින් හෙළාදමා ඒවායේ කුඩු කිද්‍රොන් ඔයට විසි කෙළේ ය.</verse>
				<verse number="13">තවද, රජ තෙම ජෙරුසලම ඉදිරිපිට ඔලීව කන්දට දකුණෙන් තිබූ සීදොන්වරුන්ගේ පිළිකුල වූ අෂ්ටාරොත්ටත්, මෝවබ්වරුන්ගේ පිළිකුල වූ කෙමොෂ්ටත්, අම්මොන්වරුන්ගේ පිළිකුල වූ මිල්කොම්ටත් ඉශ්රායෙල් රජ වූ සලමොන් විසින් ගොඩනැඟුණු ගිරිකුළු දේවාල දූෂ්‍ය කෙළේ ය.</verse>
				<verse number="14">ඔහු රූප හා කුළුණු බිඳ, අෂේරා කප් කණු කපාදමා, ඒවා තිබූ තැන් මිනීඇටවලින් පිරෙව්වේ ය.</verse>
				<verse number="15">තවද, බෙතෙල්හි තිබූ පූජාසනය ද ඉශ්රායෙල්වරුන් පාපයට පෙළඹවූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් සෑදූ ගිරිකුළු දේවාල ද වන එහි පූජාසනයත්, ගිරි මුදුනත් ඔහු කඩාදමා, ඒ දේවාලය පුළුස්සාදමා කුඩු කර, අෂේරා කප් කණුව ද පුළුස්සාදැමී ය.</verse>
				<verse number="16">ජොෂියා එහි කන්දේ තිබූ සොහොන් ගෙවල් දැක, මේ කාරණා ප්‍රකාශකළ සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රකාර ඒවා පූජාසනය පිට පුළුස්සා එය දූෂ්‍ය කෙළේ ය.</verse>
				<verse number="17">තවද, ඔහු කතා කොට, “මට පෙනෙන අර සොහොන් කොත, කුමක් දැ”යි ඇසී ය. නගර වාසීහු උත්තර දෙමින්, “එය ජුදා සිට අවුත් බෙතෙල්හි පූජාසනයට විරුද්ධ ව ඔබ කළ මේ දේවල් කලින් ප්‍රකාශ කළ දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ සොහොන් කොත ය”යි කී හ.</verse>
				<verse number="18">රජ ද කතා කරමින්, “සොහොනට කිසිවක් නොකරන්න. කිසිවෙක් ඔහුගේ ඇටකටුවලට අත නොගසන්නැ”යි කී ය. මෙසේ ඔව්හු ඔහුගේ ඇටකටු ද සමාරියෙන් පැමිණි දිවැසිවරයාගේ ඇටකටු ද එලෙස ම තිබෙන්නට හැරියෝ ය.</verse>
				<verse number="19">සමාරියේ නගරවල තිබූ සමිඳාණන් වහන්සේ කෝප කරවන ලෙස ඉශ්රායෙල් රජුන් විසින් සාදන ලද ගිරිකුළු දේවාල ජොෂියා පහකොට, බෙතෙල්හි දී කළ සියලු ක්‍රියා ප්‍රකාර ඒවාටත් කෙළේ ය.</verse>
				<verse number="20">එහි සිටි ගිරිකුළු දේවාලවල සියලු පූජකයන් ද පූජාසන පිට මරා, ඒවා පිට මිනීඇට පුළුස්සා ඔහු ජෙරුසලමට හැරී ආවේ ය.</verse>
				<verse number="21">තවද, ජොෂියා රජ කතා කොට, “මේ ගිවිසුම් පොතේ ලියා තිබෙන ප්‍රකාර ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පාස්කුව පවත්වන්නැ”යි මුළු සෙනඟට අණ කෙළේ ය.</verse>
				<verse number="22">ඉශ්රායෙල්වරුන් පාලනය කළ වීර පුරුෂයන්ගේ දවස්වල පටන් ඉශ්රායෙල් රජුන්ගේ ද ජුදා රජුන්ගේ ද මුළු කාලයෙහි සැබැවින් ම එබඳු පාස්කුවක් නොපවත්වන ලදී.</verse>
				<verse number="23">ඒ පාස්කුව සමිඳාණන් වහන්සේ උදෙසා ජෙරුසලමේ පවත්වන ලද්දේ ජොෂියා රජුගේ දහඅට වන අවුරුද්දේ දී ය.</verse>
				<verse number="24">තවද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දී පූජක වන හිල්කියාට සම්බ වූ පොතේ ලියා තිබුණු ව්‍යවස්ථාවේ වචන ඉෂ්ට කරන පිණිස ජොෂියා ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද දේවතා රූප ද පිළිම ද ජුදා දේශයෙහිත්, ජෙරුසලමෙහිත් දක්නා ලද අනෙක් සියලු පිළිකුල් දේවල් ද පහකරදැමී ය.</verse>
				<verse number="25">මෝසෙස්ගේ මුළු ව්‍යවස්ථාව ලෙස තමාගේ මුළු හෘදයෙන් ද තමාගේ මුළු සිතින් ද තමාගේ මුළු වීර්යයෙන් ද සමිඳාණන් වහන්සේ වෙත හැරුණු ඔහු හා සමාන රජෙක් ඔහුට පළමුවෙන් වත්, ඔහුට පසු ව වත් නොසිටියේ ය.</verse>
				<verse number="26">එසේ වී නමුත්, මනස්සේ විසින් සමිඳාණන් වහන්සේ කෝප කරවන ලද සියලු කාරණා නිසා ජුදාට විරුද්ධ ව ඇවිළී තිබූ උන් වහන්සේගේ ඉමහත් උදහසේ බලවත්කම උන් වහන්සේ පහකර නොගත් සේක.</verse>
				<verse number="27">සමිඳාණන් වහන්සේ කතා කොට, “මා ඉශ්රායෙල් පහකරදැමූ ලෙස ජුදාත් මාගේ ඇස් හමුයෙන් පහ කරදමා, මා තෝරාගත් මේ නුවර වන ජෙරුසලම ද මාගේ නාමය එහි පවතින්නේ යයි මා කී මාලිගාව ද අත්හැරදමන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="28">ජොෂියාගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?</verse>
				<verse number="29">ඔහුගේ දවස්වල දී මිසරයේ රජ වූ පාරාවෝ - නෙකො අසිරියාවේ රජුගේ සහායට යුප්‍රටීස් ගංගාව ළඟට ගියේ ය. එවිට ජොෂියා රජ ඔහුට විරුද්ධ ව සටනට ගියේ ය. මිසරයේ රජ ද මෙගිද්දෝ‍හි දී ජොෂියා දුටු විට ඔහු මැරී ය.</verse>
				<verse number="30">ඔහුගේ සේවකයෝ මළාවූ ජොෂියා රජ රථයකින් මෙගිද්දෝ‍ සිට ජෙරුසලමට ගෙනවුත් ඔහුගේ ම සොහොන්ගෙයි ඔහු තැන්පත් කළෝ ය. එවිට දේශයේ සෙනඟ ජොෂියාගේ පුත් ජෙහෝවාහාස් කැඳවාගෙන අභිෂේක කොට ඔහුගේ පියා වෙනුවට ඔහු රජකමට පත් කළහ.</verse>
				<verse number="31">ජෙහෝවාහාස් විසිතුන් හැවිරිදි වයසේ දී රජ වී, තුන් මසක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම හමුතල් ය. ඈ ලිබ්නාහි ජෙරමියාගේ දුවකි.</verse>
				<verse number="32">ඔහුගේ පියවරුන් කළ සියල්ල ලෙස ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.</verse>
				<verse number="33">එවිට ඔහු ජෙරුසලමෙහි රජකම් නොකරන පිණිස පාරාවෝ-නෙකො හමාත් දේශයේ රිබ්ලාහි දී ඔහු සිර අඩස්සි කොට, රිදී කිලෝග්‍රෑම් තුන්දාස් හාරසියයකුත්, රන් කිලෝග්‍රෑම් තිස්හතරකුත් දේශයට දඩ ගැසී ය.</verse>
				<verse number="34">තවද, පාරාවෝ-නෙකො තෙමේ ජොෂියා රජුගේ පුත් එලියාකිම් ඔහුගේ පිය වූ ජොෂියා වෙනුවට රජකමට පත් කොට, ඔහුගේ නාමය ජෙහෝයාකිම් ය කියා වෙනස් කෙළේ ය. එහෙත්, ඔහු ජෙහෝවාහාස් රැගෙන මිසරයට ගියේ ය. එහි දී ඔහු මළේ ය.</verse>
				<verse number="35">ජෙහෝයාකිම් ඒ රිදී ද රන් ද පාරාවෝට දුන්නේ ය. එහෙත්, පාරාවෝගේ නීතිය ප්‍රකාර ඒ මුදල් දෙන පිණිස ඔහු දේශයට ගණන නියම කොට, පාරාවෝ-නෙකොට දීමට එකිනෙකාට නියම කළ හැටියට ඒ රිදී ද රන් ද දේශයේ සෙනඟගෙන් අය කෙළේ ය.</verse>
				<verse number="36">ජෙහෝයාකිම් විසිපස් අවුරුදු වයසේ දී රජ වී එකොළොස් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම ශෙබ්දා ය. ඈ රුමාහි පෙදායාගේ දුවකි.</verse>
				<verse number="37">ඔහු තමාගේ පියවරුන් කළ සියල්ල ලෙස සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.</verse>
			</chapter>
			<chapter number="24">
				<verse number="1">ඔහුගේ දවස්වල දී බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් පැමිණ, ජුදා දේශය ආක්‍රමණය කළ පසු, ජෙහෝයාකිම් තුන් අවුරුද්දක් ඔහුට සේවය කොට පසු ව ඔහුට විරුද්ධ ව කැරලි ගැසී ය.</verse>
				<verse number="2">සමිඳාණන් වහන්සේ කල්දිවරුන්ගේ හමුදාවන් ද සිරියන්වරුන්ගේ හමුදාවන් ද මෝවබ්වරුන්ගේ හමුදාවන් ද අම්මොන්වරුන්ගේ හමුදාවන් ද ඔහුට විරුද්ධ ව එවූ සේක. තමන්ගේ මෙහෙකරු වූ දිවැසිවරුන් ලවා සමිඳාණන් වහන්සේ කියෙවූ වචනයේ හැටියට ජුදා නැති කරන පිණිස ඊට විරුද්ධ ව උන් වහන්සේ ඔවුන් එවූ සේක.</verse>
				<verse number="3">ජුදාවරුන් තමන්ගේ ඇස් හමුයෙන් පහකරන පිණිස සමිඳාණන් වහන්සේගේ ආඥාවෙන් මෙය ඔවුන් පිට පැමිණියේ ය. මෙය සිදු වූයේ, මනස්සේගේ පාප වන ඔහු කළ සියල්ල නිසාත්,</verse>
				<verse number="4">ඔහු වැගිරෙවූ නිදොස් ලේ නිසාත් ය. මන්ද, ඔහු වැගිරෙවූ නිදොස් අයගේ ලේ ජෙරුසලම පුරා ගලා ගියේ ය. ඔහුට කමා වන්නට සමිඳාණන් වහන්සේට නොහැකි විය.</verse>
				<verse number="5">ජෙහෝයාකිම්ගේ අනික් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?</verse>
				<verse number="6">ජෙහෝයාකිම් මියගියේ ය. ඔහුගේ පුත් ජෙහෝයාකින් ඔහු වෙනුවට රජ විය.</verse>
				<verse number="7">බබිලෝනියේ රජ නයිල් ගංගාව පටන් යුප්‍රටීස් ගංගාව දක්වා මිසර රජුට අයිති සියල්ල ගත් නිසා, මිසරයේ රජ තවත් තම දේශයෙන් පිටතට ආවේ නැත.</verse>
				<verse number="8">ජෙහෝයාකින් දහඅට අවුරුදු වයසේ දී රජ වී තුන් මසක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම නෙහෂ්තා ය. ඈ ජෙරුසලමේ එල්නාතාන්ගේ දුවකි.</verse>
				<verse number="9">ඔහු තමාගේ පියා කළ සියල්ල ලෙස සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.</verse>
				<verse number="10">ඒ කාලයෙහි බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර්ගේ හමුදා ජෙරුසලමට විරුද්ධ ව පැමිණ නුවර වැටලූ හ.</verse>
				<verse number="11">ස්වකීය හමුදා නුවර වටලා සිටිය දී බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් ද එතැනට පැමිණියේ ය.</verse>
				<verse number="12">එවිට ජුදාහි රජ වූ ජෙහෝයාකින් ද ඔහුගේ මෑණියෝ ද රාජ සේවකයෝ ද අධිපතියෝ ද ඇමතියෝ ද නුවරින් පිටත සිටි බබිලෝනියේ රජුට යටත් වූ හ. බබිලෝනියේ රජ තෙමේ තමා රජකමට පත් වී අට වන අවුරුද්දේ දී ඒ නගරය අල්ලාගත්තේ ය.</verse>
				<verse number="13">ඔහු සමිඳාණන් වහන්සේ වදාළ ලෙස සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වස්තු සියල්ල ද රජ ගෙයි වස්තු ද එතැනින් පිටතට ගෙන යනුයේ, ඉශ්රායෙල් රජ වූ සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සාදා තිබුණු සියලු රන් භාජන කැබලි කොට කැපී ය.</verse>
				<verse number="14">ඔහු ජෙරුසලම් වැසියන් ද සියලු අධිපතීන් ද සියලු යුද්ධ භටයන් ද වන දසදහස්දෙනෙකු සහ සියලු ශිල්පීන් ද ආචාරීන් ද විප්‍රවාසයට ගෙන ගියේ ය. දේශයේ ඉතා දුප්පතුන් මිස කිසිවෙක් ඉතිරි නො වූ හ.</verse>
				<verse number="15">ඔහු ජෙහෝයාකින් බබිලෝනියට ගෙන ගියේ ය. රජුගේ මෑණියන් ද රජුගේ භාර්යාවන් ද ඔහුගේ ඇමතියන් ද දේශයේ බලවන්තයන් ද ඔහු පිටිවහල්කමට රැගෙන ජෙරුසලමේ සිට බබිලෝනියට ගෙන ගියේ ය.</verse>
				<verse number="16">සත්දහසක් වූ සියලු යුද්ධ භටයන් ද ශිල්පීන් සහ ආචාරීන් දහසක් ද වන යුද්ධ කරන සියලු බලවන්තයෝ බබිලෝනියේ රජු විසින් විප්‍රවාසයට බබිලෝනියට ගෙන යන ලදහ.</verse>
				<verse number="17">බබිලෝනියේ රජ ද ඔහුගේ බාප්පා වන මත්තනියා ඔහු වෙනුවට රජකමට පත් කොට ඔහුගේ නම ශෙදෙකියා යයි වෙනස් කෙළේ ය.</verse>
				<verse number="18">ශෙදෙකියා විසිඑක් අවුරුදු වයසේ දී රජ වී එකොළොස් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම හමුතල් ය. ඈ ලිබ්නාහි ජෙරමියාගේ දුවක් ය.</verse>
				<verse number="19">ඔහු ජෙහෝයාකිම් කළ සියල්ල ලෙස සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.</verse>
				<verse number="20">මන්ද, සමිඳාණන් වහන්සේ ඔවුන් තමන් ඉදිරියෙන් පහකරදමන තරමට උන් වහන්සේගේ උදහස නිසා ජෙරුසලමටත්, ජුදාටත් මෙසේ සිද්ධ විය.</verse>
			</chapter>
			<chapter number="25">
				<verse number="1">ශෙදෙකියා රජකමට පත් වී නව වන අවුරුද්දේ දහ වන මාසයේ දහ වන දා බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් තමාගේ මුළු සේනාව සමඟ ජෙරුසලමට විරුද්ධ ව අවුත් ඊට විරුද්ධ ව කඳවුරු බැඳ, එය වටා බලකොටු ගොඩනැඟුවේ ය.</verse>
				<verse number="2">මෙසේ ශෙදෙකියා රජුගේ එකොළොස් වන අවුරුද්ද දක්වා නුවර වටලා තිබිණි.</verse>
				<verse number="3">සතර වන මාසයේ නව වන දා දේශයේ සෙනඟට කෑම නැති වන තරමට සාගතය නුවර තුළ බලවත් විය.</verse>
				<verse number="4">එකල නුවර සතුරන්ට අසු වී කල්දිවරුන් වටකර සිටිය දී, සියලු යුද්ධ භටයෝ රජ උයන ළඟ පවුරු දෙක අතරේ තිබෙන දොරටුවෙන් රාත්‍රියේ පලා ගියහ. රජ අරබා සමභූමි පාරෙන් පලා ගියේ ය.</verse>
				<verse number="5">එහෙත්, කල්දිවරුන්ගේ සේනාව රජු පසුපස්සේ එලවාගෙන ගොස්, ජෙරිකෝවේ සමභූමිවල දී ඔහු කිට්ටු කර ආවෝ ය. ඔහුගේ මුළු සේනාව ද ඔහු වෙතින් විසිර ගියහ.</verse>
				<verse number="6">ඔව්හු රජු අල්ලාගෙන රිබ්ලා නුවර සිටි බබිලෝනියේ රජු ළඟට ගෙන ගියහ. එවිට රජ ඔහු ගැන තීන්දුව දුන්නේ ය.</verse>
				<verse number="7">ඔව්හු ශෙදෙකියාගේ පුත්‍රයන් ඔහුගේ ඇස් හමුයෙහි මරා, ඔහුගේ ඇස් අන්ධ කොට, ඔහුට විලංගු දමා බබිලෝනියට ගෙන ගියෝ ය.</verse>
				<verse number="8">බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් රජුගේ දහනව වන අවුරුද්දේ පස් වන මාසයේ සත් වන දා බබිලෝනියේ රජුගේ සේවකයෙකු වූ රැකවලුන්ගේ අධිපති වූ නෙබුසරදාන් ජෙරුසලමට අවුත්,</verse>
				<verse number="9">සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද රජගෙය ද ජෙරුසලමේ සියලු ගෙවල් ද ගිනිබත් කෙළේ ය. ලොකු ගෙවල් සියල්ල ම ඔහු ගින්නෙන් දවාදැමී ය.</verse>
				<verse number="10">රැකවලුන්ගේ අධිපතියා සමඟ සිටි කල්දිවරුන්ගේ මුළු සේනාව ජෙරුසලමේ පවුරු හාත්පසින් ම බිඳ දැමූ හ.</verse>
				<verse number="11">සෙනඟගෙන් නගරයේ ඉතිරි ව සිටි අය ද සැඟවී ගොස් බබිලෝනියේ රජුගේ පක්ෂයට වූ අය ද සමූහයාගෙන් අනික් අය ද රැකවලුන්ගේ අධිපති වූ නෙබුසරදාන් තෙමේ අල්ලාගෙන ගියේ ය.</verse>
				<verse number="12">එහෙත්, මිදි වතු වවන්නටත්, ගොවිතැන් කරන්නටත් රැකවලුන්ගේ අධිපතියා දේශයේ ඉතා දිළිඳුන්ගෙන් සමහරෙකු ඉතිරි කොට ගියේ ය.</verse>
				<verse number="13">තවද, කල්දිවරු සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබූ ලෝකඩ කණු ද මැසි ද එහි තිබූ ලෝකඩ බඳුන් ද කඩාගෙන ඒවායේ ලෝකඩ බබිලෝනියට ගෙන ගියහ.</verse>
				<verse number="14">ඇතිලි ද හැඳි ද පහන් කතුරු ද පාත්‍ර ද මෙහෙයට පාවිච්චි කළ ලෝකඩ බඩු සියල්ල ද ඔව්හු ගත්හ.</verse>
				<verse number="15">ගිනි කබල් ද තාලි ද රන් බඩුවල රන් ද රිදී බඩුවල රිදී ද රැකවලුන්ගේ අධිපතියා විසින් ගන්නා ලදී.</verse>
				<verse number="16">සලමොන් විසින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට සාදන ලද කුළුණු දෙකත්, ලෝකඩ බඳුනේ මැසිත් යන සියලු බඩුවල ලෝකඩවල බර මනින්නට බැරි තරමට තිබිණි.</verse>
				<verse number="17">එක කුළුණේ උස මීටර් අටකි. එහි පිට ලෝකඩ පේකඩයක් විය. පේකඩයේ උස මීටර් එකයි දශම තුනකි. පේකඩය පිට වටකරින් දැල් වැඩක් සහ දෙළුම් ගෙඩිත් තිබිණි. ඒ සියල්ල ලෝකඩින් විය. දෙ වන කුළුණ පිටත් එයාකාර ව දැල් වැඩ තිබිණි.</verse>
				<verse number="18">රැකවලුන්ගේ අධිපතියා නායක පූජකයා වූ සෙරායා ද දෙ වන පූජකයා වූ ශෙපතියා ද දොරටු පාලකයන් තුන් දෙනා ද අල්ලාගත්තේ ය.</verse>
				<verse number="19">ඔහු යුද්ධ භටයන්ගේ අධිපතියෙකු වූ ඇමතියෙකු ද රජු ඉදිරියෙහි සිටි මනුෂ්‍යයන්ගෙන් නුවර සිටි පස්දෙනෙකු ද දේශයේ සෙනඟ යුද්ධයට රැස්කළ සේනාපතියාගේ ලේකම් ද නුවර සිටි සම්භාවනීය අය හැටදෙනෙකු ද අල්ලාගත්තේ ය.</verse>
				<verse number="20">එවිට රැකවලුන්ගේ අධිපතියා වූ නෙබුසරදාන් ඔවුන් බබිලෝනියේ රජු වෙත රිබ්ලා නගරයට ගෙන ගියේ ය.</verse>
				<verse number="21">බබිලෝනියේ රජ හමාත් රටේ රිබ්ලාහි දී ඔවුන්ට පහර දී ඔවුන් මරාදැමී ය. මෙසේ ජුදාවරු තමන්ගේ ප්‍රවේණි භූමියෙන් විප්‍රවාසයට ගෙන යන ලදහ.</verse>
				<verse number="22">ඔහු ජුදා දේශයෙහි ඉතිරි ව සිටි, බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් ඉතිරි කර ගිය සෙනඟගේ අධිපතියා කොට ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත් ගෙදලියා පත් කෙළේ ය.</verse>
				<verse number="23">බබිලෝනියේ රජු ගෙදලියා ආණ්ඩුකාරයා කොට පත් කළ බව සේනාවල සියලු අධිපතීන් ද ඔවුන්ගේ මිනිසුන් ද ඇසූ විට ඔව්හු එනම්, නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් ද කාරියාගේ පුත් ජෝහානාන් ද නෙටොපාතිය තන්හුමෙත්ගේ පුත් සෙරායා ද මයකාති-යයාගේ පුත් ජාශනියා ද ඔවුන්ගේ මිනිසුන් ද මිශ්පා නගරයෙහි සිටි ගෙදලියා වෙත ආ හ.</verse>
				<verse number="24">ගෙදලියා ඔවුන්ටත්, ඔවුන්ගේ මිනිසුන්ටත් දිවුරුම් දී කතා කොට, “කල්දිවරුන්ගේ සේවකයන්ට බිය නොවී දේශයෙහි වාසය කොට බබිලෝනියේ රජුට සේවය කරන්න. එවිට ඔබට ශුභසිද්ධ වන්නේ ය”යි කී ය.</verse>
				<verse number="25">එහෙත්, සත් වන මාසයේ දී රාජ වංශයේ එලිෂාමාගේ පුත්‍රයා වන නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් මනුෂ්‍යයන් දසදෙනෙකුත් සමඟ අවුත් ගෙදලියාටත්, මිශ්පාහි ඔහු සමඟ සිටි ජුදෙව්වරුන්ටත්, කල්දිවරුන්ටත් පහර දී මරාදැමී ය.</verse>
				<verse number="26">එවිට ලොකු කුඩා සියලු දෙනා ද සේනාවන්ගේ අධිපතීහු ද කල්දිවරුන්ට බිය වී මිසරයට පලා ගියෝ ය.</verse>
				<verse number="27">ජුදාහි රජ වූ ජෙහෝයාකින් බබිලෝනියට ගෙනයනු ලැබ, තිස්හත් වන අවුරුද්දේ දොළොස් වන මාසයේ විසිහත් වන දා බබිලෝනියේ රජ වූ එවිල්මෙරොදක් තමා රජකමට පත් වූ අවුරුද්දේ දී ජුදාහි ජෙහෝයාකින්ට සමාව දී, හිරගෙයින් ඔහු නිදහස් කර,</verse>
				<verse number="28">ඔහුට කරුණාව පෙන්වා, බබිලෝනියෙහි ඔහු සමඟ සිටි රජුන්ගේ රාජ බලයට වඩා උසස් රාජ බලයක් ඔහුට දුන්නේ ය.</verse>
				<verse number="29">ඔහුගේ හිරඇඳුම් ද මාරු කෙළේ ය. තවද, ඔහු තමාගේ ජීවිතයේ ඉතිරි කාලයේ නිතර ම රජු ඉදිරියෙහි ආහාර වැළඳුවේ ය.</verse>
				<verse number="30">ඔහුගේ ආහාර කොටස ද නියම ලෙස දවස්පතා ම ඔහුගේ මුළු ජීවිත කාලය තුළ ම රජු වෙතින් ඔහුට දෙන ලද්දේ ය.</verse>
			</chapter>
		</book>
		<book number="13">
			<chapter number="1">
				<verse number="1">ආදම්, සෙත්, ඒනොෂ්‍;</verse>
				<verse number="2">කේනාන්, මහලලෙල්, ජරෙද්,</verse>
				<verse number="3">ඒනොක්, මෙතුසෙලා, ලාමෙක්;</verse>
				<verse number="4">නෝවාගේ පුත්‍රයෝ නම්: ෂෙම්, හාම් සහ ජපෙත් ය.</verse>
				<verse number="5">ජපෙත්ගේ පුත්‍රයෝ නම්: ගොමෙර්, මාගොග්, මාදයි, ජාවාන්, තුබල්, මෙෂෙක් සහ තීරස් ය.</verse>
				<verse number="6">ගොමෙර්ගේ පුත්‍රයෝ නම්: අෂ්-කෙනස්, රිපත් සහ තොගර්මා ය.</verse>
				<verse number="7">ජාවාන්ගේ පුත්‍රයෝ නම්: එලිෂා, තර්ෂිෂ්, කිත්තිම් සහ රොදානිවරු ය.</verse>
				<verse number="8">හාම්ගේ පුත්‍රයෝ නම්: කුෂ්, මිශ්‍රයිම්, පූට් සහ කානාන් ය.</verse>
				<verse number="9">කුෂ්ගේ පුත්‍රයෝ නම්: ෂෙබා, හවීලා, සබ්තා, රාමා සහ සබ්තෙකා ය. රාමාගේ පුත්‍රයෝ නම්: ෂෙබා සහ දෙදාන් ය.</verse>
				<verse number="10">කුෂ්ට දාව නිම්රොද් උපන්නේ ය; ඔහු පොළොවේ බලවන්තයෙකු වන්නට පටන් ගත්තේ ය.</verse>
				<verse number="11">මිශ්‍රයිම්ට දාව ලුදිම්වරු ද අනාමිම්වරු ද ලෙහාබිම්වරු ද නප්තුහිම්වරු ද</verse>
				<verse number="12">පත්රුසිම්වරු ද කස්ලුහිම්වරු ද ක්‍රීට්වරු ද උපන්නෝ ය. පිලිස්තිවරුන් පැවත ආයේ ඔවුන්ගෙන් ය.</verse>
				<verse number="13">කානාන්ට දාව තමාගේ කුලුඳුලා වූ සීදොන් සහ හෙත් ද;</verse>
				<verse number="14">ජෙබුසිවරු ද අමෝරිවරු ද ගිර්ගාෂිවරු ද;</verse>
				<verse number="15">හිවීවරු ද අර්කිවරු ද සීනිවරු ද;</verse>
				<verse number="16">ආර්වාදිවරු ද ශෙමාරිවරු ද හමාතිවරු ද උපන්නෝ ය.</verse>
				<verse number="17">ෂෙම්ගේ පුත්‍රයෝ නම්: ඒලාම්, අෂූර්, අර්පක්ෂද්, ලූද්, අරාම්, ඌශ්, හුල්, ගෙතෙර් සහ මෙෂෙක් ය.</verse>
				<verse number="18">අර්පක්ෂද්ට දාව ෂේලා උපන්නේ ය; ෂේලාට දාව ඒබෙර් උපන්නේ ය.</verse>
				<verse number="19">ඒබෙර්ට පුත්‍රයෝ දෙදෙනෙක් උපන්නෝ ය. එක් කෙනෙකුගේ නම පෙලෙග් ය. මන්ද, ඔහුගේ කාලයේ පොළෝ තලය බෙදන්නට යෙදුණේ ය. ඔහුගේ සහෝදරයාගේ නම ජොක්තන් ය.</verse>
				<verse number="20">ජොක්තන්ට දාව අල්මෝදාද් ද ෂෙලෙප් ද හසර්මාවෙත් ද ජෙරා ද;</verse>
				<verse number="21">හදොරාම් ද ඌසාල් ද දික්ලා ද;</verse>
				<verse number="22">ඒබාල් ද අබිමායෙල් ද ෂෙබා ද;</verse>
				<verse number="23">ඕපීර් ද හවීලා ද ජෝබාබ් ද උපන්නෝ ය. මේ සියල්ලෝ ජොක්තන්ගේ පුත්‍රයෝ ය.</verse>
				<verse number="24">ෂෙම්, අර්පක්ෂද්, ෂේලා;</verse>
				<verse number="25">ඒබෙර්, පෙලෙග්, රෙයු;</verse>
				<verse number="26">සෙරුග්, නාහෝර්, තේරා සහ</verse>
				<verse number="27">ආබ්‍රම් හෙවත් ආබ්‍රහම් ය.</verse>
				<verse number="28">ආබ්‍රහම්ගේ පුත්‍රයෝ නම්: ඊසාක් සහ ඉෂ්මායෙල් ය.</verse>
				<verse number="29">ඔවුන්ගේ පරම්පරා මේ ය: ඉෂ්මායෙල්ගේ කුලුඳුලා වූ නෙබායොත්, ඊළඟට කේදාර්, අද්බෙයෙල්, මිබ්සාම්;</verse>
				<verse number="30">මිෂ්මා, දුමා, මස්සා; හදද්, තේමා,</verse>
				<verse number="31">ජෙතුර්, නාපීෂ් සහ කේදෙමා ය. මොවුහු ඉෂ්මායෙල්ගේ පුත්‍රයෝ ය.</verse>
				<verse number="32">ආබ්‍රහම්ගේ උපභාර්යාව වූ කෙතුරාගේ පුත්‍රයෝ මොවුහු ය: ඈ ශිම්රාන්, ජොක්ෂාන්, මෙදාන්, මිදියාන්, ඉෂ්බාක් සහ ෂුවා ලැබුවා ය. ජොක්ෂාන්ගේ පුත්‍රයෝ නම්: ෂෙබා සහ දෙදාන් ය.</verse>
				<verse number="33">මිදියාන්ගේ පුත්‍රයෝ නම්: ඒපා, ඒපෙර්, හනොක්, අබිදා සහ එල්දායා ය. මේ සියල්ලෝ කෙතුරාගේ පුත්‍රයෝ ය.</verse>
				<verse number="34">ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේ ය. ඊසාක්ගේ පුත්‍රයෝ නම්: ඒසව් සහ ඉශ්රායෙල් ය.</verse>
				<verse number="35">ඒසව්ගේ පුත්‍රයෝ නම්: එලිපස්, රෙවුයෙල්, ජෙවුෂ්, ජලාම් සහ කෝරා ය.</verse>
				<verse number="36">එලිපස්ගේ පුත්‍රයෝ නම්: තේමාන්, ඕමාර්, ශෙපී, ගායිතාම්, කෙනස්, තිම්නා සහ අමලෙක් ය.</verse>
				<verse number="37">රෙවුයෙල්ගේ පුත්‍රයෝ නම්: නහත්, සෙරා, ෂම්මා සහ මිස්සා ය.</verse>
				<verse number="38">සේයිර්ගේ පුත්‍රයෝ නම්: ලෝතාන්, ෂෝබාල්, ශිබෙයොන්, අනා, දීෂොන්, එශෙර් සහ දීෂාන් ය.</verse>
				<verse number="39">ලෝතාන්ගේ පුත්‍රයෝ නම්: හෝරී සහ හෝමාම් ය. තිම්නා ලෝතාන්ගේ සහෝදරී ය.</verse>
				<verse number="40">ෂෝබාල්ගේ පුත්‍රයෝ නම්: අල්වාන්, මානහත්, ඒබාල්, ෂෙපී සහ ඕනාම් ය. ශිබෙයොන්ගේ පුත්‍රයෝ නම්: ආයා සහ අනා ය.</verse>
				<verse number="41">අනාගේ පුත්‍රයා දීෂොන් ය. දීෂොන්ගේ පුත්‍රයෝ නම්: හම්රාන්, එෂ්බාන්, ඉත්රාන් සහ කෙරාන් ය.</verse>
				<verse number="42">එශෙර්ගේ පුත්‍රයෝ නම්: බිල්හන්, සයවාන් සහ ජාකන් ය. දීෂාන්ගේ පුත්‍රයෝ නම්: ඌශ් සහ අරාන් ය.</verse>
				<verse number="43">ඉශ්රායෙල් ජනයා කෙරෙහි කිසි රජෙකු රජකම් කරන්න පළමුවෙන් ඒදොම් රටේ රජකම් කළ රජවරු මොවුහු ය. බෙයො‍්ර්ගේ පුත් බෙලා ය; ඔහුගේ නුවර නම් දින්හාබා ය.</verse>
				<verse number="44">බෙලා මළ පසු බොශ්රාහි සෙරාගේ පුත් ජෝබාබ් ඔහු වෙනුවට රජකම් කෙළේ ය.</verse>
				<verse number="45">ජෝබාබ් මළ පසු තේමානිවරුන්ගේ රටේ හුෂාම් ඔහු වෙනුවට රජකම් කෙළේ ය.</verse>
				<verse number="46">හුෂාම් මළ පසු මෝවබ් රටේ දී මිදියන්ට පහර දුන් බෙදද්ගේ පුත් හදද් ඔහු වෙනුවට රජකම් කෙළේ ය. ඔහුගේ නුවරේ නම අවිත් ය.</verse>
				<verse number="47">හදද් මළ පසු මස්රේකාහි ෂම්ලා ඔහු වෙනුවට රජකම් කෙළේ ය.</verse>
				<verse number="48">ෂම්ලා මළ පසු යුප්‍රටීස් ගංගාව ළඟ තිබුණු රෙහොබොත්හි ෂාවුල් ඔහු වෙනුවට රජකම් කෙළේ ය.</verse>
				<verse number="49">ෂාවුල් මළ පසු අක්බොර්ගේ පුත් බාල්-හනන් ඔහු වෙනුවට රජකම් කෙළේ ය.</verse>
				<verse number="50">බාල්-හනන් මළ පසු හදද් ඔහු වෙනුවට රජකම් කෙළේ ය. ඔහුගේ නුවරේ නම පායී ය. ඔහුගේ භාර්යාවගේ නම මෙහෙතාබල් ය. ඈ මෙසාහාබ්ගේ දුව වූ මත්රේද්ගේ දුව ය.</verse>
				<verse number="51">හදද් මියගියේ ය. ඒදොම්හි අධිපතිවරු නම්: තිම්නා, අල්වා, ජෙතේත්;</verse>
				<verse number="52">ඔහොලිබාමා, ඒලා, පීනොන්;</verse>
				<verse number="53">කෙනස්, තේමාන්, මිබ්ශාර්;</verse>
				<verse number="54">මග්දීයෙල් සහ ඊරාම් ය. මොවුහු ඒදොම්හි අධිපතියෝ ය.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">ඉශ්රායෙල්ගේ පුත්‍රයෝ නම්: රූබන්, සිමියොන්, ලෙවී සහ ජුදා ය; ඉස්සාකර් සහ සාබුලොන් ය;</verse>
				<verse number="2">දාන්, ජෝසෙප් සහ බෙන්ජමින් ය; නප්තලී, ගාද් සහ ආෂෙර් ය.</verse>
				<verse number="3">ජුදාගේ පුත්‍රයෝ නම්: ඒර්, ඕනාන් සහ ෂේලා ය. මේ තුන්දෙනා කානානිය බැත්-ෂුවාගෙන් ඔහුට දාව උපන්නෝ ය. ජුදාගේ කුලුඳුලා වූ ඒර් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දුෂ්ට ව සිටි බැවින් උන් වහන්සේ ඔහු නැසූ සේක.</verse>
				<verse number="4">ඔහුගේ ලේලිය වූ තාමාර් ඔහුට දාව පෙරෙශ් ද ශෙරා ද ලැබුවා ය. ජුදාට පුත්‍රයෝ පස්දෙනෙක් සිටියෝ ය.</verse>
				<verse number="5">පෙරෙශ්ගේ පුත්‍රයෝ නම්: හෙශ්රොන් සහ හාමුල් ය.</verse>
				<verse number="6">ශෙරාගේ පුත්‍රයෝ නම්: සිම්රී, ඒතාන්, හේමන්, කල්කොල් සහ දාරා ය. ඒ සියල්ලෝ පස්දෙනෙක් ය.</verse>
				<verse number="7">කර්මීගේ පුත්‍රයා නම්: කැප වූ දේ ගැන අපරාධයක් කර ඉශ්රායෙල් කැළඹුවා වූ ආකාර් ය.</verse>
				<verse number="8">අශරියා ඒතාන්ගේ පුත්‍රයෙක් ය.</verse>
				<verse number="9">හෙශ්රොන්ට උපන් ඔහුගේ පුත්‍රයෝ නම්: ජෙරාමෙයෙල්, රාම් සහ කෙලුබයි ය.</verse>
				<verse number="10">රාම්ට දාව අම්මිනාදාබ් උපන්නේ ය; අම්මිනාදාබ්ට දාව ජුදාගේ පුත්‍රයන්ට අධිපති වූ නාෂොන් උපන්නේ ය.</verse>
				<verse number="11">නාෂොන්ට දාව සල්මාද සල්මාට දාව බෝවස් ද උපන්නෝ ය;</verse>
				<verse number="12">බෝවස්ට දාව ඕබෙද් ද ඕබෙද්ට දාව ජෙස්සේ ද උපන්නෝ ය;</verse>
				<verse number="13">ජෙස්සේට දාව ඔහුගේ කුලුඳුලා වූ එලියාබ් ද, දෙවැනියා වූ අබිනාදාබ් ද, තුන්වැනියා වූ ෂිමෙයා ද;</verse>
				<verse number="14">සතරවැනියා වූ නෙතනේල් ද, පස්වැනියා වූ රද්දයි ද;</verse>
				<verse number="15">හයවැනියා වූ ඔශෙම් ද, සත්වැනියා වූ දාවිත් ද උපන්නෝ ය.</verse>
				<verse number="16">මොවුන්ගේ සහෝදරියෝ නම්: ශෙරුයා සහ අබිගායිල් ය. ශෙරුයාගේ පුත්‍රයෝ නම්: අබිෂයි ද ජෝවාබ් ද අසාහෙල් ද යන තුන්දෙනා ය.</verse>
				<verse number="17">අබිගායිල් අමාසා ලැබුවා ය. අමාසාගේ පියා නම්, ඉෂ්මායෙලීය ජෙතෙර් ය.</verse>
				<verse number="18">හෙශ්රොන්ගේ පුත් කාලෙබ්ට දාව ඔහුගේ භාර්යාව වූ අශුබාගෙන් ජෙරියොත් උපන්නා ය. ඈට පුත්‍රයෝ උපන්නෝ ය. ඔව්හු නම්: ජේෂෙර්, ෂෝබාබ් සහ අර්දොන් ය.</verse>
				<verse number="19">අශුබා මියගිය පසු කාලෙබ් එප්‍රාතා පාවාගත්තේ ය. ඈ ඔහුගෙන් හූර් ලැබුවා ය.</verse>
				<verse number="20">හූර්ට දාව උරී උපන්නේ ය; උරීට දාව බෙශලෙල් උපන්නේ ය.</verse>
				<verse number="21">පසු ව හෙශ්රොන් තමා හැට අවුරුදු වයස් වූ කල, ගිලියද් හට පියා වූ මාකීර්ගේ දුව පාවාගෙන ඈ හා එක් විය. ඇය ඔහුගෙන් සෙගුබ් ලැබුවා ය.</verse>
				<verse number="22">සෙගුබ්ට දාව ජායිර් උපන්නේ ය; ඔහුට ගිලියද් දේශයෙහි නගර විසිතුනක් තිබුණේ ය.</verse>
				<verse number="23">ගෙෂූර්වරු ද සිරියන්වරු ද ජායිර්හි නගර සහ කෙනත් ද ඊට අයිති ගම් ඇතුළු ව නගර සැටක් ද ඔවුන්ගෙන් අල්ලාගත්තෝ ය. මේ සියල්ලෝ ගිලියද්ගේ පිය වූ මාකීර්ගේ පුත්‍රයෝ ය.</verse>
				<verse number="24">හෙශ්රොන් කාලෙබ්එප්‍රාතාහි දී මියගිය පසු හෙශ්රොන්ගේ භාර්යාව වූ අබියා තෙකෝවා වැසියන්ගේ මුල් පියා වන අෂ්හූර් ලැබුවා ය.</verse>
				<verse number="25">හෙශ්රොන්ගේ කුලුඳුලා වූ ජෙරාමෙයෙල්ගේ පුත්‍රයෝ නම්: කුලුඳුලා වූ රාම්, බූනා, ඔරෙන්, ඔශෙම් සහ අහියා ය.</verse>
				<verse number="26">ජෙරාමෙයෙල්ට අටාරා නම් වෙන භාර්යාවක් වූවා ය. ඈ ඕනාම්ගේ මව ය.</verse>
				<verse number="27">ජෙරාමෙයෙල්ගේ කුලුඳුලා වූ රාම්ගේ පුත්‍රයෝ නම්: මයශ්, ජාමීන් සහ ඒකෙර් ය.</verse>
				<verse number="28">ඕනාම්ගේ පුත්‍රයෝ නම්: ෂම්මයි සහ ජාදා ය. ෂම්මයිගේ පුත්‍රයෝ නම්: නාදාබ් සහ අබිෂුර් ය.</verse>
				<verse number="29">අබිෂුර්ගේ භාර්යාවගේ නම අබිහයිල් ය; ඈ ආබාන් සහ මෝලීද් ඔහුගෙන් ලැබුවා ය.</verse>
				<verse number="30">නාදාබ්ගේ පුත්‍රයෝ නම්: සෙලෙද් සහ අප්පයිම් ය. සෙලෙද් දරුවන් නොලැබ මියගියේ ය.</verse>
				<verse number="31">අප්පයිම්ගේ පුත්‍රයා නම්: ඉෂී ය. ඉෂීගේ පුත්‍රයා නම් ෂේෂාන් ය. ෂේෂාන්ගේ පුත්‍රයා නම් ආලයි ය.</verse>
				<verse number="32">ෂම්මයිගේ සහෝදර වූ ජාදාගේ පුත්‍රයෝ නම්: ජෙතෙර් සහ ජොනතන් ය. ජෙතෙර් දරුවන් නොලැබ මියගියේ ය.</verse>
				<verse number="33">ජොනතන්ගේ පුත්‍රයෝ නම්: පෙලෙත් සහ සාසා ය. මොවුහු ජෙරාමෙයෙල්ගේ පුත්‍රයෝ ය.</verse>
				<verse number="34">ෂේෂාන්ට දූවරුන් මිස පුත්‍රයෝ නොසිටියෝ ය. ෂේෂාන්ට මිසර වැසියෙකු වූ ජර්හා නම් වැඩකාරයෙක් සිටියේ ය.</verse>
				<verse number="35">ෂේෂාන් තමාගේ වැඩකාරයා වූ ජර්හාට තමාගේ දුව භාර්යාව කොට දුන්නේ ය. ඈ ඔහුට දාව අත්තයි ලැබුවා ය.</verse>
				<verse number="36">අත්තයිට දාව නාතාන් උපන්නේ ය; නාතාන්ට දාව සාබාද් උපන්නේ ය;</verse>
				<verse number="37">සාබාද්ට දාව එප්ලාල් උපන්නේ ය; එප්ලාල්ට දාව ඕබෙද් උපන්නේ ය;</verse>
				<verse number="38">ඕබෙද්ට දාව ජේහු උපන්නේ ය; ජේහුට දාව අශරියා උපන්නේ ය;</verse>
				<verse number="39">අශරියාට දාව හෙලෙශ් උපන්නේ ය; හෙලෙශ්ට දාව එලෙයාසා උපන්නේ ය;</verse>
				<verse number="40">එලෙයාසාට දාව සිස්මයි උපන්නේ ය; සිස්මයිට දාව ෂල්ලුම් උපන්නේ ය;</verse>
				<verse number="41">ෂල්ලුම්ට දාව ජෙකමියා උපන්නේ ය; ජෙකමියාට දාව එලිෂාමා උපන්නේ ය.</verse>
				<verse number="42">ජෙරාමෙයෙල්ගේ සහෝදර වූ කාලෙබ්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ කුලුඳුලා වූ, සීප්ගේ පියා වූ මේෂා සහ හෙබ්‍රොන්ගේ පියා වූ මරේෂාගේ පුත්‍රයෝත් ය.</verse>
				<verse number="43">හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ නම්: කෝරා, තප්පුවා, රෙකෙම් සහ ෂෙමා ය.</verse>
				<verse number="44">ෂෙමාට දාව ජොර්කෙයාම්ගේ පියා වූ රහම් උපන්නේ ය; රෙකෙම්ට දාව ෂම්මයි උපන්නේ ය.</verse>
				<verse number="45">මායොන් ෂම්මයිගේ පුත්‍රයා ය; මායොන් බෙත්-ශුර්ගේ පියා ය.</verse>
				<verse number="46">කාලෙබ්ගේ උපභාර්යාව වූ ඒපා හාරාන් ද මෝශා ද ගාසෙස් ද ලැබුවා ය. හාරාන්ට දාව ගාසෙස් උපන්නේ ය.</verse>
				<verse number="47">ජාදයිගේ පුත්‍රයෝ නම්: රෙගෙම්, ජෝතාම්, ගේෂාම්, පෙලෙට්, ඒපා සහ ෂයප් ය.</verse>
				<verse number="48">කාලෙබ්ගේ උපභාර්යාව වූ මයකා ෂෙබෙර් සහ තිර්හනා ලැබුවා ය.</verse>
				<verse number="49">ඈ මද්මන්නාගේ පියා වූ ෂයප් ද මක්බේනාගේ සහ ගිබෙයාගේ පියා වූ ෂෙවා ද ලැබුවා ය. කාලෙබ්ගේ දුව අක්සා ය.</verse>
				<verse number="50">මොවුහු කාලෙබ්ගේ පුත්‍රයෝ ය. එප්‍රාතාගේ කුලුඳුලා වූ බෙන්හූර් ය; කිරියත්-ජෙයාරීම්ගේ පියා වූ ෂෝබාල්;</verse>
				<verse number="51">බෙත්ලෙහෙම්ගේ පියා වූ සල්මා සහ බෙත්ගාදෙර්ගේ පියා වූ හාරෙප් ය.</verse>
				<verse number="52">කිරියත්-ජෙයාරීම්ගේ පියා වූ ෂෝබාල්ට පුත්‍රයෝ සිටියෝ ය. එනම්; හාරොවේ සහ මෙනුහොත්වරුන්ගෙන් දෙකෙන් කොටසක් ය.</verse>
				<verse number="53">කිරියත්-ජෙයාරීම්ගේ පවුල් නම්: ඉත්රියවරු, පූතිවරු, ෂුමාතිවරු සහ මිෂ්රායිවරු ය; මොවුන්ගෙන් ශොරාතිවරු ද එෂ්තායෝලිවරු ද පැවත ආවෝ ය.</verse>
				<verse number="54">සල්මාගේ පුත්‍රයෝ නම්: බෙත්ලෙහෙම්වරු, නෙටෝපාතිවරු, අටාරොත්බෙත්-ජෝවාබ්වරු, මානහතිවරුන්ගෙන් දෙකෙන් කොටසක් සහ ශොරියවරුත් ය.</verse>
				<verse number="55">ජාබෙශ්හි විසූ ලියන්නන්ගේ පවුල් නම්: තිරාතිවරු, ෂිමියාතිවරු සහ සුකාතිවරු ය. මොවුහු රේකාබ්ගේ වංශයේ පියා වූ හම්මත්ගෙන් පැවත ආ කේනිවරු ය.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">හෙබ්‍රොන්හි දී දාවිත්ට උපන් ඔහුගේ පුත්‍රයෝ මොවුහු ය. කුලුඳුලා ජෙශ්‍රෙයෙලීය අහිනොවම්ගෙන් උපන් අම්නොන් ය. දෙවැනියා කර්මෙලීය අබිගායිල්ගෙන් උපන් දානියෙල් ය;</verse>
				<verse number="2">තුන්වැනියා ගෙෂූර්හි රජ වන තල්මයිගේ දුව වූ මයකාගේ පුත්‍ර වූ අබ්සලොම් ය; හතරවැනියා හග්ගිත්ගේ පුත්‍ර වූ අදොනියා ය;</verse>
				<verse number="3">පස්වැනියා අබිටල්ගෙන් උපන් ෂෙපටියා ය; හයවැනියා ඔහුගේ භාර්යාව වූ එග්ලාගෙන් උපන් ඉත්රෙයාම් ය;</verse>
				<verse number="4">හය දෙනෙක් හෙබ්‍රොන්හි දී ඔහුට උපන්නෝ ය. එහි ඔහු සත් අවුරුදු හය මාසයක් ද ජෙරුසලමෙහි තිස්තුන් අවුරුද්දක් ද රජකම් කෙළේ ය.</verse>
				<verse number="5">ජෙරුසලමේ දී ඔහුට දාව උපන් අය මොවුහු ය: ෂිමෙයා, ෂෝබාබ්, නාතාන් සහ සලමොන් ය. මේ සතර දෙනා අම්මියෙල්ගේ දුව වූ බැත්-ෂුවාගෙන් උපන්නෝ ය.</verse>
				<verse number="6">ඉබ්හාර්, එලිෂමා, එලිපෙලෙත්;</verse>
				<verse number="7">නොගා, නෙපෙග්, ජාපියා;</verse>
				<verse number="8">එලිෂාමා, එල්යාදා, එලිපෙලෙත් යන නව දෙනාත් ය.</verse>
				<verse number="9">උපභාර්යාවන්ගේ පුත්‍රයන් ඇතුළු ව මොවුහු සියල්ලෝ දාවිත්ගේ පුත්‍රයෝ ය. තාමාර් මොවුන්ගේ සහෝදරී ය.</verse>
				<verse number="10">සලමොන්ගේ පුත්‍රයා රෙහොබෝවම් ය. ඔහුගේ පුත්‍රයා අබියා ය; ඔහුගේ පුත්‍රයා ආසා ය; ඔහුගේ පුත්‍රයා ජෙහෝෂාපාට් ය;</verse>
				<verse number="11">ඔහුගේ පුත්‍රයා ජෝරාම් ය; ඔහුගේ පුත්‍රයා අහසියා ය; ඔහුගේ පුත්‍රයා ජෝවාෂ් ය;</verse>
				<verse number="12">ඔහුගේ පුත්‍රයා අමශියා ය; ඔහුගේ පුත්‍රයා අසරියා ය; ඔහුගේ පුත්‍රයා ජෝතාම් ය;</verse>
				<verse number="13">ඔහුගේ පුත්‍රයා ආහාස් ය; ඔහුගේ පුත්‍රයා හෙසකියා ය; ඔහුගේ පුත්‍රයා මනස්සේ ය;</verse>
				<verse number="14">ඔහුගේ පුත්‍රයා ආමොන් ය; ඔහුගේ පුත්‍රයා ජොෂියා ය.</verse>
				<verse number="15">ජොෂියාගේ පුත්‍රයෝ නම්: කුලුඳුලා වූ ජොහානාන් ය; දෙවැනියා ජෙහෝයාකිම් ය; තුන්වැනියා ශෙදෙකියා ය; හතරවැනියා ෂල්ලුම් ය.</verse>
				<verse number="16">ජෙහෝයාකිම්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ පුත් ජෙකොනියා සහ ඔහුගේ පුත් ශෙදෙකියා ය.</verse>
				<verse number="17">හිරකාරයෙකු වූ ජෙකොනියාගේ පුත්‍රයෝ නම්:</verse>
				<verse number="18">ඔහුගේ පුත් ෂෙයල්තියෙල් සහ මල්කිරාම්, පෙදායා, ෂෙනශ්ශර්, ජෙකමියා, හෝෂාමා සහ නෙදබියා ය.</verse>
				<verse number="19">පෙදායාගේ පුත්‍රයෝ නම්: සෙරුබ්බාබෙල් සහ ෂිමෙයි ය. සෙරුබ්බාබෙල්ගේ පුත්‍රයෝ නම්: මෙෂුල්ලාම් සහ හනනියා ය; ඔවුන්ගේ සහෝදරී ෂෙලොමිත් ය.</verse>
				<verse number="20">හෂුබා, ඔහෙල්, බෙරෙකියා, හසදියා, ජුෂබ්-හෙසෙද් යන පස්දෙනාත් ය.</verse>
				<verse number="21">හනනියාගේ පුත්‍රයෝ නම්: පෙලටියා සහ ජෙෂායා ය. රෙපායාගේ පුත්‍රයෝ ය; අර්ණන්ගේ පුත්‍රයෝ ය; ඔබදියාගේ පුත්‍රයෝ ය; ෂෙකනියාගේ පුත්‍රයෝ ය.</verse>
				<verse number="22">ෂෙකනියාගේ පුත්‍රයෝ නම්: ෂෙමායා ද ෂෙමායාගේ පුත්‍රයන් වූ හට්ටුෂ්, ඉගාල්, බාරියා, නෙයරියා, ෂාපාත් යන හයදෙනා ය.</verse>
				<verse number="23">නෙයරියාගේ පුත්‍රයෝ නම්: එලියෝයේනයි, හිස්කියා, අශ්රීකාම් යන තුන්දෙනා ය.</verse>
				<verse number="24">එලියෝයේනයිගේ පුත්‍රයෝ නම්: හෝදවියා, එලියාෂිබ්, පෙලායා, අක්කුබ්, ජොහානාන්, දෙලායා, අනානී යන සත්දෙනා ය.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">ජුදාගේ පුත්‍රයෝ නම්: පෙරෙශ්, හෙශ්රොන්, කර්මී, හූර් සහ ෂෝබාල් ය.</verse>
				<verse number="2">ෂෝබාල්ගේ පුත්‍ර වූ රෙයායාට දාව ජහත් උපන්නේ ය; ජහත්ට දාව අහුමයි සහ ලාහද් උපන්නෝ ය. මොවුහු ශොරාතිවරුන්ගේ පවුල් ය.</verse>
				<verse number="3">ඒතාම්ගේ පියාගෙන් උපන් අය නම්: ජෙශ්‍රෙයෙල්, ඉෂ්මා සහ ඉඩ්බාෂ් ය. ඔවුන්ගේ සහෝදරීගේ නම හශ්ශෙලෙල්පොනී ය.</verse>
				<verse number="4">ගෙදෝර්ගේ පියා වූ පෙනුවේල් ය; හුෂාගේ පියා වූ එශෙර් ය. මොවුහු එප්‍රාතාගේ කුලුඳුලා වූ බෙත්-ලෙහෙම්ගේ පියා වූ හූර්ගේ පුත්‍රයෝ ය.</verse>
				<verse number="5">තෙකෝවා වැසියන්ගේ පියා වූ අෂ්හූර්ට හෙලෙයා සහ නයරා යන භාර්යාවෝ දෙදෙනෙක් වූ හ.</verse>
				<verse number="6">නයරා ඔහුගෙන් අහුස්සාම් ද හේපෙර් ද තේමෙනි ද හාහෂ්තාරි ද ලැබුවා ය. නයරාගේ පුත්‍රයෝ මොවුහු ය.</verse>
				<verse number="7">හෙලෙයාගේ පුත්‍රයෝ නම්: ශෙරෙත්, ඉශ්හාර් සහ එත්නන් ය.</verse>
				<verse number="8">කොශ්ට දාව ආනුබ් ද ශොබේබා ද හාරුම්ගේ පුත් අහර්හෙල්ගේ පවුල් ද උපන්නෝ ය.</verse>
				<verse number="9">ජාබෙශ් තමාගේ සහෝදරයන්ට වඩා ගෞරව ලැබුවේ ය. ඔහුගේ මව, “මම වේදනාවෙන් ඔහු ලැබුවෙමි”යි කියා ඔහුට ජාබෙශ් යන නම තැබුවා ය.</verse>
				<verse number="10">ජාබෙශ් ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට යාච්ඤා කොට, “අහෝ, ඔබ මට ආශීර්වාද කර, මාගේ සීමාව විශාල කර, ඔබේ අතින් මට පිහිට වී, මට දුක් නූපදින ලෙස විපතෙන් මා ආරක්ෂා කළ මැනව”යි කීවේ ය. දෙවියන් වහන්සේ ද ඔහුගේ ඉල්ලීම ඉෂ්ට කළ සේක.</verse>
				<verse number="11">ෂුහාගේ සහෝදර වූ කෙලූබ්ට දාව මෙහීර් උපන්නේ ය. ඔහු එෂ්තොන්ගේ පියා ය.</verse>
				<verse number="12">එෂ්තොන්ට දාව බෙත්-රාපා ද පසේයා ද ඊර්-නාහාෂ්ගේ පියා වූ තෙහින්නා ද උපන්නෝ ය. මොවුහු රේකාහී මනුෂ්‍යයෝ ය.</verse>
				<verse number="13">කෙනස්ගේ පුත්‍රයෝ නම්: ඔත්නියෙල් සහ සෙරායා ය. ඔත්නියෙල්ගේ පුත්‍රයෝ හතත් සහ මෙයෝනොතයි ය.</verse>
				<verse number="14">මෙයෝනොතයිට දාව ඔප්‍රා උපන්නේ ය. සෙරායාට දාව ගෙ-හරාෂිවරුන්ගේ පිය වූ ජෝවාබ් උපන්නේ ය. ඔව්හු ශිල්පීහු ය.</verse>
				<verse number="15">ජෙපුන්නේගේ පුත් කාලෙබ්ගේ පුත්‍රයෝ නම්: ඊරු, ඒලා සහ නයම් ය. ඒලාගේ පුත්‍රයා කෙනස් ය.</verse>
				<verse number="16">ජෙහල්ලෙලෙල්ගේ පුත්‍රයෝ නම්: ශීප්, ශීපා, තිරියා සහ අසරේල් ය.</verse>
				<verse number="17">එස්රාගේ පුත්‍රයෝ නම්: ජෙතෙර්, මෙරේද්, ඒපෙර් සහ ජාලොන් ය. මෙරේද් පාවාගත්, පාරාවෝගේ දුව වූ බිතියාගේ පුත්‍රයෝ මොවුහු ය. ඈ මීරියම් ද ෂම්මයි ද එෂ්තෙමෝවාගේ පියා වූ ඉෂ්බා ද ලැබුවා ය.</verse>
				<verse number="18">ඔහුගේ ජුදෙව් භාර්යාව ගෙදෝර්ගේ පියා වූ ජෙරෙද් ද ශෝකෝගේ පියා වූ හෙබෙර් ද ශානොවාගේ පියා වූ ජෙකුතියෙල් ද ලැබුවා ය.</verse>
				<verse number="19">කෙයිලාගේ පියා වන නහම්ගේ සහෝදරී වූ, හෝදියාගේ භාර්යාවගේ පුත්‍රයෝ නම්: ගර්මී සහ මයකාතිය එෂ්තෙමෝවා ය.</verse>
				<verse number="20">ෂිමොන්ගේ පුත්‍රයෝ නම්: අම්නොන්, රින්නා, බෙන්-හානාන් සහ තීලොන් ය. ඉෂිගේ පුත්‍රයෝ නම්: සෝහෙත් සහ බෙන්-ශෝහෙත් ය.</verse>
				<verse number="21">ජුදාගේ පුත්‍ර වූ ෂේලාගේ පුත්‍රයෝ නම්: ලේකාගේ පියා වූ ඒර් ද මරේෂාගේ පියා වූ ලයෙදා ද අෂ්බෙයාගේ වංශය වන සිහින් හණ රෙදි වියන්නන්ගේ වංශයේ පවුල් ද;</verse>
				<verse number="22">ජෝකිම් ද කොශේබාහි මනුෂ්‍යයෝ ද මෝවබ්වරුන්ගෙන් භාර්යාවන් සරණ පාවාගත් ජෝවාෂ් සහ සාරාප් ද ජාෂුබ්-ලෙ-හෙම් ද යන මොවුහු ය. මේවා පැරණි කරුණු ය.</verse>
				<verse number="23">මොවුහු කුම්භකාරයන් ව නෙතායිම්හි ද ගෙදෙරාහි ද විසුවෝ ය. මොවුහු රජුගේ වැඩකරන පිණිස එහි ඔහු සමඟ වාසය කළෝ ය.</verse>
				<verse number="24">සිමියොන්ගේ පුත්‍රයෝ නම්: නෙමුවෙල්, ජාමීන්, ජාරීබ්, ශෙරා සහ ෂාවුල් ය.</verse>
				<verse number="25">ඔහුගේ පුත්‍රයා ෂල්ලුම් ය; ඔහුගේ පුත්‍රයා මිබ්සාම් ය; ඔහුගේ පුත්‍රයා මිෂ්මා ය.</verse>
				<verse number="26">මිෂ්මාගේ පුත්‍රයෝ නම්: ඔහුගේ පුත් හම්මුවෙල් ය; ඔහුගේ පුත්‍ර වූ ශක්කූර් ය; ඔහුගේ පුත්‍ර වූ ෂිමෙයි ය.</verse>
				<verse number="27">ෂිමෙයිට පුත්‍රයෝ දහසයදෙනෙක් ද, දූවරු හයදෙනෙක් ද සිටියෝ ය. එහෙත්, ඔහුගේ සහෝදරයන්ට බොහෝ දරුවෝ නොසිටියෝ ය. ඔවුන්ගේ මුළු වංශය ජුදා පුත්‍රයන් මෙන් වැඩි නො වී ය.</verse>
				<verse number="28">ඔව්හු බෙයර්-ෂෙබාහි ද මොලාදාහි ද හශර්-ෂුවාල්හි ද;</verse>
				<verse number="29">බිල්හාහි ද එශෙම්හි ද තෝලාද්හි ද;</verse>
				<verse number="30">බෙතුයෙල්හි ද හොර්මාහි ද ශික්ලග්හි ද;</verse>
				<verse number="31">බෙත්-මර්කාබොත්හි ද හශර්-සුසීම්හි ද බෙත්-බිරියෙහි ද ෂයරම්හි ද විසුවෝ ය. දාවිත් රජකමට පැමිණෙන තුරු මේවා ඔවුන්ගේ නගර ව තිබුණේ ය.</verse>
				<verse number="32">ඔවුන්ගේ ගම්: ඒතාම්, අයින්, රිම්මොන්, තොකෙන්, ආෂාන් යන නගර පහක් සහ</verse>
				<verse number="33">බාල් දක්වා එම නගර වටේට තිබුණු සියලු ගම් ද වේ. ඔවුන්ගේ වාසස්ථාන ද ඔවුන්ගේ පෙළපත් ලේඛන ද මේවා ය.</verse>
				<verse number="34">මෙෂෝබාබ් ද ජම්ලෙක් ද අමශියාගේ පුත් ජෝෂා ද;</verse>
				<verse number="35">ජෝවෙල් ද අසියෙල්ගේ පුත්‍රයා වන සෙරායාගේ පුත් ජෝෂිබියාගේ පුත්‍රයා වන ජේහු ද;</verse>
				<verse number="36">එලියෝයේනයි ද ජාකොබා ද ජෙෂෝහායා ද ආසායා ද අදීයෙල් ද ජෙසිමියෙල් ද බෙනායා ද;</verse>
				<verse number="37">ෂෙමායාගේ පුත්‍රයා වන ෂිම්රීගේ පුත්‍ර වූ ජෙදයාගේ පුත්‍රයා වන අල්ලොන්ගේ පුත්‍ර වූ ෂිපීගේ පුත්‍රයා වන සීසා ද යන</verse>
				<verse number="38">නම් වශයෙන් සඳහන් කළ මොවුහු තමන්ගේ පවුල්වල අධිපතියෝ වූ හ. ඔවුන්ගේ පිය පෙළපත් ද බොහෝ සෙයින් වර්ධනය විය.</verse>
				<verse number="39">ඔව්හු තමන්ගේ එළු බැටළු රැළවලට තණ බිම් සොයමින් මිටියාවතේ නැගෙනහිර අතට ගෙදෝර්ට ඇතුල් වන තැන දක්වා ගියෝ ය.</verse>
				<verse number="40">හොඳ සරු තණ බිම් ඔවුන්ට සම්බ විය. දේශය ද දැනට ම විශාල ව, නිශ්චල ව, සාමදාන සහිත ව තිබුණේ ය. මන්ද, පළමුවෙන් එහි වාසය කළ අය හාම්ගෙන් පැවත ආවෝ ය.</verse>
				<verse number="41">නම් වශයෙන් ලියන ලද මොවුහු ජුදාහි රජ වූ හෙසකියාගේ කාලයේ දී අවුත් එහි සම්බවුණ මෙයුනිවරුන්ටත්, ඔවුන්ගේ කූඩාරම්වලටත් පහර දී, අද දක්වා තිබෙන හැටියට ඔවුන් මුළුමනින් ම නැතිකර දමා ඔවුන් වෙනුවට එහි වාසය කළෝ ය. මන්ද, ඔවුන්ගේ එළු බැටළු රැළවල්වලට එහි තණ බිම් තිබුණේ ය.</verse>
				<verse number="42">සිමියොන්ගේ පුත්‍රයන් වන ඔවුන්ගෙන් සමහර දෙනෙක් එනම්, මනුෂ්‍යයන් පන්සියයක් ඉෂිගේ පුත්‍ර වූ පෙලටියා ද නෙයරියා ද රෙපායා ද උශ්ශීයෙල් ද ප්‍රධානකමට තබා ගෙන සේයිර් කන්දට ගොස්,</verse>
				<verse number="43">ගැළවී ඉතුරු ව සිටි අමලෙක්වරුන්ට පහර දුන්නෝ ය. අද දක්වාත් ඔව්හු එහි වාසය කරති.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">ඉශ්රායෙල්ගේ කුලුඳුලා වූ රූබන්ගේ පුත්‍රයෝ මොවුහු ය. ඔහු කුලුඳුලා ව සිටි නමුත්, තම පියාගේ උපභාර්යාවන් සමඟ සේවනයෙහි යෙදුණු නිසා, ඔහුගේ කුලුඳුල්කම ඉශ්රායෙල්ගේ පුත් ජෝසෙප්ගේ පුත්‍රයන්ට දෙන ලද්දේ ය; කුලුඳුල්කමේ හැටියට පෙළපත ගණන් නොගන්නා ලද්දේ ය.</verse>
				<verse number="2">ජුදා වනාහි තමාගේ සහෝදරයන් අතරේ බලවත් වුණේ ය. ඔහුගෙන් අධිපතියා පැවත ආයේ ය. එහෙත්, කුලුඳුල්කම ජෝසෙප්ට අයිති ය.</verse>
				<verse number="3">ඉශ්රායෙල්ගේ කුලුඳුලා වූ රූබන්ගේ පුත්‍රයෝ නම්: හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මී ය.</verse>
				<verse number="4">ජෝවෙල්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ පුත්‍රයා ෂෙමායා ය; ඔහුගේ පුත්‍රයා ගොග් ය; ඔහුගේ පුත්‍රයා ෂිමෙයි ය;</verse>
				<verse number="5">ඔහුගේ පුත්‍රයා මීකා ය; ඔහුගේ පුත්‍රයා රෙයායා ය; ඔහුගේ පුත්‍රයා බාල් ය;</verse>
				<verse number="6">ඔහුගේ පුත්‍රයා බෙයේරා ය; ඔහු අසිරියාවේ රජ වූ තිල්ගත්-පිලෙසෙර් විසින් වහල්කමට ගෙනයනු ලැබුවේ ය. ඔහු රූබන්වරුන්ගේ අධිපතියා ය.</verse>
				<verse number="7">තමන්ගේ පරම්පරා ලේඛනයෙහි ලියා තිබෙන තමන්ගේ පවුල් අනුව ඔහුගේ සහෝදරයෝ නම්: ප්‍රධානියා වූ ජෙයීයෙල් සහ ශෙකරියා ය,</verse>
				<verse number="8">ජෝවෙල්ගේ පුත්‍ර වූ ෂෙමාගේ පුත්‍රයා වන ආශාශ්ගේ පුත් බෙලා ය. ඔහු අරෝයෙර්හි ද නෙබෝ සහ බාල්-මෙයොන් දක්වා ද වාසය කෙළේ ය.</verse>
				<verse number="9">නැගෙනහිරට ඔව්හු යුප්‍රටීස් ගංගාවේ පටන් පාළුකරයට ඇතුළු වන තැන දක්වා වාසය කළෝ ය. මන්ද, ඔවුන්ගේ සිවුපාවෝ ගිලියද් දේශයෙහි බහුල ව සිටියෝ ය.</verse>
				<verse number="10">ඔව්හු සාවුල්ගේ දවස්වල දී හග්රීවරුන් සමඟ යුද්ධ කොට ඔවුන් නැතිකර, ගිලියද්ට නැගෙනහිරෙන් තිබෙන දේශය මුළුල්ලෙහි ඔවුන්ගේ කූඩාරම්වල වාසය කළෝ ය.</verse>
				<verse number="11">ගාද්ගේ පුත්‍රයෝ ඔවුන්ට ඉදිරිපිටින් බාෂාන් දේශයේ සලෙකා දක්වා වාසය කළෝ ය.</verse>
				<verse number="12">ඔව්හු නම්: ප්‍රධානියා වූ ජෝවෙල්, දෙවැනියා වූ ෂාපාම්, ජානයි සහ ෂාපාත් ය. ඔව්හු බාෂාන්හි සිටියෝ ය.</verse>
				<verse number="13">තමන්ගේ පිය වංශ ප්‍රකාරයට ඔවුන්ගේ සහෝදරයෝ නම්: මිකායෙල් ද මෙෂුල්ලාම් ද ෂෙබා ද ජෝරයි ද ජාකාන් ද ෂිය ද ඒබෙර් ද යන සත්දෙනා ය.</verse>
				<verse number="14">මොවුහු බුශ්ගේ පුත්‍රයා වන ජාඩෝගේ පුත් ජෙෂිෂයිගේ පුත්‍රයා වන මිකායෙල්ගේ පුත් ගිලියද්ගේ පුත්‍රයා වන ජාරොවාගේ පුත් හුරීගේ පුත්‍රයා වන අබිහයිල්ගේ පුත්‍රයෝ ය.</verse>
				<verse number="15">ගුනීගේ පුත් අබ්දියෙල්ගේ පුත්‍රයා වන අහී ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානියා ය.</verse>
				<verse number="16">ඔව්හු ගිලියද්හි ද බාෂාන්හි ද එහි නුවරවල ද ෂාරොන්හි සියලු තණ බිම්වල ද තමන්ගේ සීමා දක්වා වාසය කළෝ ය.</verse>
				<verse number="17">මේ සියල්ලෝ ම ජුදාහි රජ වූ ජෝතාම්ගේ දවස්වල දී ද ඉශ්රායෙල් රජ වූ ජෙරොබෝවම්ගේ දවස්වල දී ද පෙළපත් වශයෙන් ලියවුණෝ ය.</verse>
				<verse number="18">රූබන්වරුන්ගෙන් ද ගාද්වරුන්ගෙන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ද පලිහත්, කඩුවත් පාවිච්චි කරන දුන්නෙන් විදින යුද්ධයට දක්ෂ වික්‍රමාන්විත මනුෂ්‍යයෝ හතළිස්හාරදාස් හත්සිය හැටක් වූවෝ ය. ඔව්හු යුද්ධයට යන්න පුළුවන් අය වෙත්.</verse>
				<verse number="19">ඔව්හු හග්රීවරුන් ද ජෙටුර් ද නාපීෂ් ද නෝදාබ් ද සමඟ යුද්ධ කළෝ ය.</verse>
				<verse number="20">ඒ අයට විරුද්ධ ව ඔවුන්ට පිහිට ලැබුණු බැවින් හග්රීවරු ද ඔවුන් සමඟ සිටි සියල්ලෝ ද ඔවුන් අතට පාවා දෙන ලද්දෝ ය. මන්ද, සටනේ දී ඔව්හු දෙවියන් වහන්සේට යාච්ඤා කළෝ ය. ඔවුන් උන් වහන්සේ කෙරෙහි විශ්වාස කළ බැවින් උන් වහන්සේ ඔවුන්ට ඇහුම්කන් දුන් සේක.</verse>
				<verse number="21">ඔව්හු ඔවුන්ගේ සිව්පාවුන් වන ඔවුන්ගේ ඔටුවන් පණස්දහසක් ද බැටළුවන් දෙලක්ෂ පණස්දහසක් ද කොටළුවන් දෙදහසක් ද මිනිසුන් ලක්ෂයක් ද අල්ලාගෙන ගියෝ ය.</verse>
				<verse number="22">යුද්ධය දෙවියන් වහන්සේ කෙරෙන් වූ නිසා බොහෝ දෙනෙක් ම මැරුම්කා වැටුණෝ ය. වහල්කමට ගෙන යාම දක්වා ඔව්හු මොවුන්ගේ දේශයෙහි වාසය කළෝ ය.</verse>
				<verse number="23">මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ ජනයා බාෂාන් පටන් බාල්-හෙර්මොන් ද සෙනීර් ද හෙර්මොන් කන්ද ද දක්වා දේශයෙහි වාසය කළෝ ය. ඔව්හු ගණනින් වැඩි වූවෝ ය.</verse>
				<verse number="24">ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ මොවුහු ය: ඒපෙර්, ඉෂී, එලියෙල්, අශ්රියෙල්, ජෙරමියා, හෝදවියා සහ ජාදියෙල් ය. ඔව්හු බලවන්තයන් ව, කීර්තිමත් මනුෂ්‍යයන් ව, තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව සිටියෝ ය.</verse>
				<verse number="25">එහෙත්, ඔව්හු තමන්ගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේට අවිශ්වාසවන්ත වී උන් වහන්සේ ඔවුන් ඉදිරියෙන් විනාශ කළ රට වැසියන්ගේ දෙවිවරුන් වැළඳ ගත්තෝ ය.</verse>
				<verse number="26">ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ ද අසිරියාවේ රජ වූ පූල්ගේ සිතත් අසිරියාවේ රජ වූ තිල්ගත්-පිලෙසෙර්ගේ සිතත් පොළඹවා, ඔවුන් එනම්, රූබන්වරුන් ද ගාද්වරුන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රය ද ගෙන ගොස්, හලාටත්, හාබෝර්ටත්, හාරාටත්, ගෝශාන්හි ගංගාව ළඟටත් පැමිණෙවු සේක. ඔව්හු අද දක්වා එහි සිටිති.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">ලෙවීගේ පුත්‍රයෝ නම්: ගේර්ෂොම්, කොහාත් සහ මෙරාරී ය.</verse>
				<verse number="2">කොහාත්ගේ පුත්‍රයෝ නම්: අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උශ්ශියෙල් ය.</verse>
				<verse number="3">අම්රාම්ගේ දරුවෝ නම්: ආරොන්, මෝසෙස් සහ මීරියම් ය. ආරොන්ගේ පුත්‍රයෝ නම්: නාදාබ්, අබිහු, එලෙයාසර් සහ ඊතාමාර් ය.</verse>
				<verse number="4">එලෙයාසර්ට දාව පිනෙහාස් ද පිනෙහාස්ට දාව අබිෂුවා ද;</verse>
				<verse number="5">අබිෂුවාට දාව බුක්කී ද; බුක්කීට දාව උශ්ශි ද</verse>
				<verse number="6">උශ්ශිට දාව ශෙරහියා ද ශෙරහියාට දාව මෙරායොත් ද;</verse>
				<verse number="7">මෙරායොත්ට දාව අමරියා ද අමරියාට දාව අහිතුබ් ද;</verse>
				<verse number="8">අහිතුබ්ට දාව ශාදොක් ද ශාදොක්ට දාව අහීමයාශ් ද;</verse>
				<verse number="9">අහීමයාශ්ට දාව අශරියා ද අශරියාට දාව ජොහානාන් ද;</verse>
				<verse number="10">ජොහානාන්ට දාව අශරියා ද උපන්නෝ ය. සලමොන් ජෙරුසලමේ ගොඩනැඟුවාවූ මාලිගාවෙහි පූජක තනතුරේ කටයුතු ඉෂ්ට කෙළේ ඔහු ය.</verse>
				<verse number="11">අශරියාට දාව අමරියා ද අමරියාට දාව අහීතුබ් ද;</verse>
				<verse number="12">අහීතුබ්ට දාව ශාදොක් ද ශාදොක්ට දාව ෂල්ලුම් ද;</verse>
				<verse number="13">ෂල්ලුම්ට දාව හිල්කියා ද හිල්කියාට දාව අශරියා ද;</verse>
				<verse number="14">අශරියාට දාව සෙරායා ද සෙරායාට දාව ජෙහෝශාදාක් ද උපන්නෝ ය.</verse>
				<verse number="15">සමිඳාණන් වහන්සේ නෙබුකද්නෙශර් අතින් ජුදාවරුන් ද ජෙරුසලමේ වැසියන් ද වහල්කමට හරින විට ජෙහෝශාදාක් ද ගියේ ය.</verse>
				<verse number="16">ලෙවීගේ පුත්‍රයෝ නම්: ගේර්ෂොම්, කොහාත් සහ මෙරාරී ය.</verse>
				<verse number="17">ගේර්ෂොම්ගේ පුත්‍රයන්ගේ නාම නම්: ලිබ්නි සහ ෂිමෙයි ය.</verse>
				<verse number="18">කොහාත්ගේ පුත්‍රයෝ නම්: අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උශ්ශියෙල් ය.</verse>
				<verse number="19">මෙරාරීගේ පුත්‍රයෝ නම්: මාලී සහ මුෂී ය. ලෙවීවරුන්ගේ පවුල් ඔවුන්ගේ පියවරුන්ගේ වංශ ප්‍රකාරයට මෙසේ ය:</verse>
				<verse number="20">ගේර්ෂොම්ගේ පුත්‍රයා ලිබ්නි ය; ඔහුගේ පුත්‍රයා ජහත් ය; ඔහුගේ පුත්‍රයා සිම්මා ය;</verse>
				<verse number="21">ඔහුගේ පුත්‍රයා ජෝවා ය; ඔහුගේ පුත්‍රයා ඉද්දෝ ය; ඔහුගේ පුත්‍රයා ශෙරා ය; ඔහුගේ පුත්‍රයා ජෙයාතෙරයි ය.</verse>
				<verse number="22">කොහාත්ගේ පුත්‍රයා නම්: අම්මිනාදාබ් ය; ඔහුගේ පුත්‍රයා කෝරා ය; ඔහුගේ පුත්‍රයා අස්සීර් ය;</verse>
				<verse number="23">ඔහුගේ පුත්‍රයා එල්කානා ය; ඔහුගේ පුත්‍රයා එබියාසාප් ය; ඔහුගේ පුත්‍රයා අස්සීර් ය;</verse>
				<verse number="24">ඔහුගේ පුත්‍රයා තහත් ය; ඔහුගේ පුත්‍රයා උරියෙල් ය; ඔහුගේ පුත්‍රයා උශ්ශියා ය; ඔහුගේ පුත්‍රයා ෂාවුල් ය.</verse>
				<verse number="25">එල්කානාගේ පුත්‍රයෝ නම්: අමාසයි සහ අහීමොත් ය.</verse>
				<verse number="26">ඔහුගේ පුත්‍රයා එල්කානා ය; ඔහුගේ පුත්‍රයා එල්කානා-ශෝපයි ය; ඔහුගේ පුත්‍රයා නහත් ය;</verse>
				<verse number="27">ඔහුගේ පුත්‍රයා එලියාබ් ය; ඔහුගේ පුත්‍රයා ජෙරොහාම් ය; ඔහුගේ පුත්‍රයා එල්කානා ය.</verse>
				<verse number="28">සාමුවෙල්ගේ පුත්‍රයෝ නම්: කුලුඳුලා වූ ජෝවෙල් සහ දෙවැනියා වූ අබියා ය.</verse>
				<verse number="29">මෙරාරීගේ පුත්‍රයා නම්: මාලී ය, ඔහුගේ පුත්‍රයා ලිබ්නි ය; ඔහුගේ පුත්‍රයා ෂිමෙයි ය;</verse>
				<verse number="30">ඔහුගේ පුත්‍රයා උශ්ශා ය; ඔහුගේ පුත්‍රයා ෂිමෙයා ය; ඔහුගේ පුත්‍රයා හග්ගියා ය; ඔහුගේ පුත්‍රයා අසායා ය.</verse>
				<verse number="31">ගිවිසුම් කරඬුව පිහිටෙවු විට සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ගීතිකා මෙහෙයට දාවිත් විසින් පත් කරනු ලැබුවෝ මොවුහු ය.</verse>
				<verse number="32">සලමොන් ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන තුරු ඔව්හු සම්මුඛ මණ්ඩපය ඉදිරිපිට ගීතිකා මෙහෙය පවත්වමින් තමන්ගේ පන්ති පරිද්දෙන් තමන්ගේ තනතුරෙහි යෙදී සිටියෝ ය.</verse>
				<verse number="33">එසේ සිටි අය සහ ඔවුන්ගේ පුත්‍රයෝ මොවුහු ය: කොහාත් පරපුරෙන් ගායනාකාර හේමන් ය. ඔහු ජෝවෙල්ගේ පුත්‍රයා ය; ඔහු සාමුවෙල්ගේ පුත්‍රයා ය;</verse>
				<verse number="34">ඔහු එල්කානාගේ පුත්‍රයා ය; ඔහු ජෙරොහාම්ගේ පුත්‍රයා ය; ඔහු එලියෙල්ගේ පුත්‍රයා ය; ඔහු තෝවාගේ පුත්‍රයා ය;</verse>
				<verse number="35">ඔහු ශුප්ගේ පුත්‍රයා ය; ඔහු එල්කානාගේ පුත්‍රයා ය; ඔහු මහත්ගේ පුත්‍රයා ය; ඔහු අමාසයිගේ පුත්‍රයා ය;</verse>
				<verse number="36">ඔහු එල්කානාගේ පුත්‍රයා ය; ඔහු ජෝවෙල්ගේ පුත්‍රයා ය; ඔහු අශරියාගේ පුත්‍රයා ය; ඔහු ශෙපනියාගේ පුත්‍රයා ය;</verse>
				<verse number="37">ඔහු තාහත්ගේ පුත්‍රයා ය; ඔහු අස්සීර්ගේ පුත්‍රයා ය; ඔහු එබියාසාප්ගේ පුත්‍රයා ය; ඔහු කෝරාගේ පුත්‍රයා ය;</verse>
				<verse number="38">ඔහු ඉශ්හාර්ගේ පුත්‍රයා ය; ඔහු කොහාත්ගේ පුත්‍රයා ය; ඔහු ලෙවීගේ පුත්‍රයා ය; ඔහු ඉශ්රායෙල්ගේ පුත්‍රයා ය.</verse>
				<verse number="39">ඔහුට දකුණෙන් සිටියේ ඔහුගේ සහෝදර ආසාප් ය. ආසාප් බෙරෙකියාගේ පුත්‍රයා ය; ඔහු ෂිමෙයාගේ පුත්‍රයා ය;</verse>
				<verse number="40">ඔහු මිකායෙල්ගේ පුත්‍රයා ය; ඔහු බයසෙයාගේ පුත්‍රයා ය; ඔහු මල්කියාගේ පුත්‍රයා ය;</verse>
				<verse number="41">ඔහු එත්නිගේ පුත්‍රයා ය; ඔහු ශෙරාගේ පුත්‍රයා ය; ඔහු අදායාගේ පුත්‍රයා ය;</verse>
				<verse number="42">ඔහු ඒතාන්ගේ පුත්‍රයා ය; ඔහු සිම්මාගේ පුත්‍රයා ය; ඔහු ෂීමෙයිගේ පුත්‍රයා ය;</verse>
				<verse number="43">ඔහු ජහත්ගේ පුත්‍රයා ය; ඔහු ගේර්ෂොම්ගේ පුත්‍රයා ය; ඔහු ලෙවීගේ පුත්‍රයා ය.</verse>
				<verse number="44">ඔවුන්ගේ සහෝදරයන් වන මෙරාරීගේ පුත්‍රයෝ වමෙන් සිටියෝ ය. එනම්: ඒතාන් ය. ඔහු කිෂිගේ පුත්‍රයා ය; ඔහු අබ්දීගේ පුත්‍රයා ය; ඔහු මල්ලූක්ගේ පුත්‍රයා ය;</verse>
				<verse number="45">ඔහු හෂබියාගේ පුත්‍රයා ය; ඔහු අමශියාගේ පුත්‍රයා ය; ඔහු හිල්කියාගේ පුත්‍රයා ය;</verse>
				<verse number="46">ඔහු අම්ශීගේ පුත්‍රයා ය; ඔහු බානීගේ පුත්‍රයා ය; ඔහු ෂෙමෙර්ගේ පුත්‍රයා ය;</verse>
				<verse number="47">ඔහු මාලීගේ පුත්‍රයා ය; ඔහු මුෂීගේ පුත්‍රයා ය; ඔහු මෙරාරීගේ පුත්‍රයා ය; ඔහු ලෙවීගේ පුත්‍රයා ය.</verse>
				<verse number="48">ඔවුන්ගේ සහෝදරයන් වූ ලෙවීවරු දෙවියන් වහන්සේගේ මාලිගාව වන මණ්ඩපයේ මුළු මෙහෙයට පත් වී සිටියෝ ය.</verse>
				<verse number="49">එහෙත්, ආරොන් ද ඔහුගේ පුත්‍රයෝ ද දෙවියන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් විසින් අණ කරන ලද සියල්ල ලෙස දවන යාග පූජා පුදන පූජාසනයත්, දුම් පූජාසනයත් පිට ඔප්පු කරන්නට ද අතිශුද්ධස්ථානයේ මුළු මෙහෙය කරන්නට ද ඉශ්රායෙල්වරුන්ගේ පව් උදෙසා සහභාගිවීමේ පූජා ඔප්පු කරන්නට ද නියම වී සිටියෝ ය.</verse>
				<verse number="50">ආරොන්ගේ පුත්‍රයෝ මොවුහු ය: ඔහුගේ පුත්‍රයා එලෙයාසර් ය; ඔහුගේ පුත්‍රයා පිනෙහාස් ය; ඔහුගේ පුත්‍රයා අබිෂුවා ය;</verse>
				<verse number="51">ඔහුගේ පුත්‍රයා බුක්කී ය; ඔහුගේ පුත්‍රයා උශ්ශි ය; ඔහුගේ පුත්‍රයා ශෙරහියා ය;</verse>
				<verse number="52">ඔහුගේ පුත්‍රයා මෙරායොත් ය; ඔහුගේ පුත්‍රයා අමරියා ය; ඔහුගේ පුත්‍රයා අහිතුබ් ය;</verse>
				<verse number="53">ඔහුගේ පුත්‍රයා ශාදොක් ය; ඔහුගේ පුත්‍රයා අහීමයාශ් ය.</verse>
				<verse number="54">කොහාත්වරුන්ගේ පවුල් අතරෙන් ආරොන්ගේ පුත්‍රයන්ගේ වාසස්ථාන ඔවුන්ගේ සීමා තුළෙහි වූ ඔවුන්ගේ කඳවුරුවල හැටියට මේවා ය. මන්ද, පස ඇටය වැටුණේ ඔවුන්ට ය.</verse>
				<verse number="55">ජුදා දේශයෙහි වූ හෙබ්‍රොන් සහ ඒ වටකරින් වූ එහි තණ බිම් ද ඔවුන්ට දෙන ලද්දේ ය.</verse>
				<verse number="56">එහෙත්, නුවර කෙත් ද එහි ගම් ද ජෙපුන්නේගේ පුත් කාලෙබ්ට දෙන ලද්දේ ය.</verse>
				<verse number="57">ආරක්ෂා නගරයක් වූ හෙබ්‍රොන් ද ලිබ්නා සහ එහි තණ බිම් ද ජත්තීර් ද එෂ්තෙමොව සහ එහි තණ බිම් ද;</verse>
				<verse number="58">හිලේන් සහ එහි තණ බිම් ද දෙබීර් සහ එහි තණ බිම් ද;</verse>
				<verse number="59">ආෂාන් සහ එහි තණ බිම් ද බෙත්-ෂෙමෙෂ් සහ එහි තණ බිම් ද;</verse>
				<verse number="60">බෙන්ජමින් ගෝත්‍රයෙන් ගෙබා සහ එහි තණ බිම් ද අල්ලෙමෙත් සහ එහි තණ බිම් ද අනාතොත් සහ එහි තණ බිම් ද ආරොන්ගේ පුත්‍රයන්ට දෙන ලද්දේ ය. ඔවුන්ගේ මුළු පවුල් ප්‍රකාරයට ඔවුන්ගේ සියලු නගර දහතුනක් ය.</verse>
				<verse number="61">කොහාත්ගේ පුත්‍රයන්ට මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ද නගර දහයක් පස ඇට දැමීමෙන් ලැබුණේ ය.</verse>
				<verse number="62">ගේර්ෂොම්ගේ පුත්‍රයන්ට තමන්ගේ පවුල් ප්‍රකාරයට ඉස්සාකර් ගෝත්‍රයෙන් ද ආෂෙර් ගෝත්‍රයෙන් ද නප්තලී ගෝත්‍රයෙන් ද බාෂාන්හි සිටි මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ද නගර දහතුනක් ලැබුණේ ය.</verse>
				<verse number="63">මෙරාරීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල් ප්‍රකාරයට රූබන් ගෝත්‍රයෙන් ද ගාද් ගෝත්‍රයෙන් ද සාබුලොන් ගෝත්‍රයෙන් ද නගර දොළොසක් පස ඇට දැමීමෙන් ලැබුණේ ය.</verse>
				<verse number="64">ඉශ්රායෙල් පුත්‍රයෝ මේ නගර සහ ඒවායේ තණ බිම් ද ලෙවීවරුන්ට දුන්නෝ ය.</verse>
				<verse number="65">ජුදා පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ද සිමියොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ද බෙන්ජමින් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ද නම් වශයෙන් කියන ලද මේ නගර ඔව්හු පස ඇට දමා දුන්නෝ ය.</verse>
				<verse number="66">කොහාත්ගේ පුත්‍රයන්ගේ අනික් පවුල්වලට ඔවුන්ගේ සීමා තුළෙහි වූ නගර එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් ලැබුණේ ය.</verse>
				<verse number="67">මෙසේ එප්‍රායිම් කඳු රටේ තිබෙන ආරක්ෂා නගරයක් වූ ෂෙකෙම් සහ එහි තණ බිම් ද ගෙශෙර් සහ එහි තණ බිම් ද;</verse>
				<verse number="68">ජොක්මෙයාම් සහ එහි තණ බිම් ද බෙත්-හෝරොන් සහ එහි තණ බිම් ද;</verse>
				<verse number="69">අයාලෝන් සහ එහි තණ බිම් ද; ගැත්-රිම්මෝන් සහ එහි තණ බිම් ද;</verse>
				<verse number="70">මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ආනේර් සහ එහි තණ බිම් ද බිලෙයාම් සහ එහි තණ බිම් ද කොහාත් පුත්‍රයන්ගේ අනික් පවුල්වලට දෙන ලද්දේ ය.</verse>
				<verse number="71">ගේර්ෂොම්ගේ පුත්‍රයන්ට මනස්සේගේ අර්ධ ගෝත්‍රය යන පවුලෙන් බාෂාන්හි ගෝලාන් සහ එහි තණ බිම් ද අෂ්ටාරොත් සහ එහි තණ බිම් ද;</verse>
				<verse number="72">ඉස්සාකර් ගෝත්‍රයෙන් කෙදෙෂ් සහ එහි තණ බිම් ද දාබෙරත් සහ එහි තණ බිම් ද;</verse>
				<verse number="73">රාමොත් සහ එහි තණ බිම් ද ආනේම් සහ එහි තණ බිම් ද;</verse>
				<verse number="74">ආෂෙර් ගෝත්‍රයෙන් මාෂාල් සහ එහි තණ බිම් ද අබ්දොන් සහ එහි තණ බිම් ද;</verse>
				<verse number="75">හුකොක් සහ එහි තණ බිම් ද රෙහොබ් සහ එහි තණ බිම් ද;</verse>
				<verse number="76">නප්තලීගේ ගෝත්‍රයෙන් ගලීලයේ කෙදෙෂ් සහ එහි තණ බිම් ද හම්මෝන් සහ එහි තණ බිම් ද කිරියාතයිම් සහ එහි තණ බිම් ද ලැබුණේ ය.</verse>
				<verse number="77">මෙරාරීගේ අනික් පුත්‍රයන්ට සාබුලොන් ගෝත්‍රයෙන් රිම්මොන් සහ එහි තණ බිම් ද තාබෝර් සහ එහි තණ බිම් ද;</verse>
				<verse number="78">ජෙරිකෝව ළඟ ජොර්දානෙන් එගොඩ ජොර්දානට නැගෙනහිරෙන් රූබන් ගෝත්‍රයෙන් පාළුකරයෙහි තිබෙන බෙශෙර් සහ එහි තණ බිම් ද ජහශා සහ එහි තණ බිම් ද;</verse>
				<verse number="79">කෙදෙමොත් සහ එහි තණ බිම් ද මේපයත් සහ එහි තණ බිම් ද;</verse>
				<verse number="80">ගාද් ගෝත්‍රයෙන් ගිලියද්හි රාමොත් සහ එහි තණ බිම් ද මහනයිම් සහ එහි තණ බිම් ද</verse>
				<verse number="81">හෙෂ්බොන් සහ එහි තණ බිම් ද ජාශර් සහ එහි තණ බිම් ද ලැබුණේ ය.</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">ඉස්සාකර්ගේ පුත්‍රයෝ නම්: තෝලා, පුවා, ජාෂුබ්, ෂිම්රොන් යන සතරදෙනා ය.</verse>
				<verse number="2">තෝලාගේ පුත්‍රයෝ නම්: උශ්ශි, රෙපායා, ජෙරීයෙල්, ජාමයි, ඉබ්සාම් සහ ෂෙමුවෙල් ය; ඔව්හු තෝලාට අයිති තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව, තමන්ගේ පෙළපත්වල බලවන්ත මනුෂ්‍යයෝ වූ හ. දාවිත්ගේ කාලයේ දී ඔවුන්ගේ ගණන විසිදෙදාස් හයසියයක් විය.</verse>
				<verse number="3">උශ්ශිගේ පුත්‍රයෝ නම්: ඉස්රායා සහ ඉස්රායාගේ පුත්‍රයන් වූ මිකායෙල් ද ඔබදියා ද ජෝවෙල් ද ඉෂ්ෂියා ද යන පස්දෙනා ය. ඒ සියල්ලෝ ප්‍රධාන මනුෂ්‍යයෝ ය.</verse>
				<verse number="4">ඔවුන් සමඟ තමන්ගේ පරම්පරා වශයෙන් ද තමන්ගේ පිය වංශවල ප්‍රකාරයට ද ගණනින් තිස්හයදහසක් වූ යුද්ධ හමුදාවල් සිටියෝ ය. ඔවුන්ට බොහෝ භාර්යාවෝ සහ පුත්‍රයෝ වූ හ.</verse>
				<verse number="5">සියලු ඉස්සාකර් පවුල් අතරෙහි බලවන්ත මනුෂ්‍යයන් ව සිටි ඔවුන්ගේ සහෝදරයෝ, සියල්ලන්ගේ ලේඛනයේ හැටියට අසූහත්දහසක් වූ හ.</verse>
				<verse number="6">බෙන්ජමින්ගේ පුත්‍රයෝ නම්: බෙලා, බෙකෙර්, ජෙදීයයෙල් යන තුන්දෙනා ය.</verse>
				<verse number="7">බෙලාගේ පුත්‍රයෝ නම්: එශ්බොන්, උශ්ශිය, උශ්ශියෙල්, ජෙරිමොත්, ඊරී යන පස්දෙනා ය. ඔව්හු තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව, බලවන්ත මනුෂ්‍යයන් ව සිටියෝ ය. ඔව්හු පෙළපත් වශයෙන් ගණන් කරන ලදුව විසිදෙදාස් තිස්හතරදෙනෙක් වූ හ.</verse>
				<verse number="8">බෙකෙර්ගේ පුත්‍රයෝ නම්: ශෙමිරා, ජෝවාෂ්, එලියෙසර්, එලියෝයේනයි, ඔම්රී, ජෙරිමොත්, අබියා, අනාතොත් සහ ආලෙමෙත් ය. මේ සියල්ලෝ බෙකෙර්ගේ පුත්‍රයෝ ය.</verse>
				<verse number="9">ඔවුන්ගේ පෙළපත් වශයෙන් තමන්ගේ පරම්පරා හැටියට, තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව සිටි බලවන්ත මනුෂ්‍යයෝ විසිදාස් දෙසියයක් ය.</verse>
				<verse number="10">ජෙදීයයෙල්ගේ පුත්‍රයා නම්: බිල්හන් ය. බිල්හන්ගේ පුත්‍රයෝ නම්: ජෙවුෂ්, බෙන්ජමින්, ඒහුද්, කෙනානා, ශේතාන්, තර්ෂිෂ් සහ අහිෂාහර් ය.</verse>
				<verse number="11">මේ සියල්ලෝ තමන්ගේ පිය වංශවල ප්‍රකාරයට ජෙදීයයෙල්ගේ පුත්‍රයන් ව, සේනා වශයෙන් යුද්ධයට යන්නට පුළුවන් වූ බලවන්ත මනුෂ්‍යයන් ව සිටියෝ ය. ඔව්හු දහහත්දාස් දෙසියදෙනෙක් වූ හ.</verse>
				<verse number="12">ෂුප්පීම් ද හුප්පීම් ද ඊර්ගේ පුත්‍රයෝ ය. හුෂිම් අහෙර්ගේ පුත්‍රයෙක් ය.</verse>
				<verse number="13">නප්තලීගේ පුත්‍රයෝ නම්: බිල්හාගේ පුත්‍රයන් වූ ජාශීයෙල්, ගුනී, ජේශෙර් සහ ෂල්ලුම් ය.</verse>
				<verse number="14">මනස්සේගේ පුත්‍රයෝ: මනස්සේට අරමීය උපභාර්යාවගෙන් පුතුන් දෙදෙනෙක් ලැබී ය. ඔව්හු අශ්‍රීයෙල් හා මාකීර් ය. මාකීර්, ගිලියද්ගේ පියා විය.</verse>
				<verse number="15">මාකීර් හුප්පීම් සහ ෂුප්පීම්ගේ සහෝදරී වූ මයකා භාර්යාව කොට පාවාගත්තේ ය. දෙවැනියාගේ නම ශෙලොපෙහාද් ය. ශෙලොපෙහාද්ට දූවරු සිටියෝ ය.</verse>
				<verse number="16">මාකීර්ගේ භාර්යාව වූ මයකා පුත්‍රයෙකු ලබා ඔහුට පෙරෙෂ් යන නම තැබුවා ය. ඔහුගේ සහෝදරයාගේ නම ෂෙරෙෂ් ය. ඔහුගේ පුත්‍රයෝ නම්: ඌලාම් සහ රාකෙම් ය.</verse>
				<verse number="17">ඌලාම්ගේ පුත්‍රයා බෙදාන් ය. මොවුහු මනස්සේගේ පුත්‍රයා වන මාකීර්ගේ පුත් ගිලියද්ගේ පුත්‍රයෝ ය.</verse>
				<verse number="18">ඔහුගේ සහෝදරී වූ හම්මොලෙකෙත් ඊෂ්හොද් සහ අබියේශෙර් ද මාලා ද ලැබුවා ය.</verse>
				<verse number="19">ෂෙමිදාගේ පුත්‍රයෝ නම්: අහෙයාන්, ෂෙකෙම්, ලික්හි සහ අනියාම් ය.</verse>
				<verse number="20">එප්‍රායිම්ගේ පුත්‍රයා ෂුතෙලා ය. ඔහුගේ පුත්‍රයා බෙරෙද් ය. ඔහුගේ පුත්‍රයා තාහත් ය. ඔහුගේ පුත්‍රයා එලියාදා ය.</verse>
				<verse number="21">ඔහුගේ පුත්‍රයා තාහත් ය; ඔහුගේ පුත්‍රයා සාබාද් ය; ඔහුගේ පුත්‍රයා ෂුතෙලා ය. ඒ හැර එශෙර් සහ එලෙයාද් ය. මොවුන් දේශයේ උපන් ගාත්හි මනුෂ්‍යයන්ගේ සිව්පාවුන් සොරකම් කරන්න බැස ආ බැවින් ඒ මනුෂ්‍යයෝ මොවුන් මැරුවෝ ය.</verse>
				<verse number="22">මොවුන්ගේ පිය වූ එප්‍රායිම් ද බොහෝ දවස් වැළපුණේ ය. ඔහුගේ සහෝදරයෝ ඔහු සනසන්නට ආවෝ ය.</verse>
				<verse number="23">ඔහු තමාගේ භාර්යාව කරා පැමිණි කල ඈ පිළිසිඳගෙන පුත්‍රයෙකු ලැබුවා ය. තමාගේ පවුලට විපත්තිය පැමිණි නිසා ඔහු ඔහුට බෙරියා යන නම තැබී ය.</verse>
				<verse number="24">එප්‍රායිම්ගේ දුව ෂෙයෙරා ය. ඈ පහළ සහ ඉහළ බෙත්-හෝරොන්හි නගර ද උශ්ශේන්-ෂෙයෙරා ද ගොඩනැඟුවා ය.</verse>
				<verse number="25">ඔහුගේ පුත්‍රයා රෙපා ය; රෙපාගේ පුත්‍රයා රෙෂෙප් ය; රෙෂෙප්ගේ පුත්‍රයා තෙලා ය; ඔහුගේ පුත්‍රයා තහන් ය;</verse>
				<verse number="26">ඔහුගේ පුත්‍රයා ලාදාන් ය; ඔහුගේ පුත්‍රයා අම්මිහුද් ය; ඔහුගේ පුත්‍රයා එලිෂාමා ය;</verse>
				<verse number="27">ඔහුගේ පුත්‍රයා නූන් ය; ඔහුගේ පුත්‍රයා ජෝෂුවා ය.</verse>
				<verse number="28">ඔවුන්ගේ උරුම වාසස්ථාන නම්: බෙතෙල් සහ එහි ගම් ද නැගෙනහිරට නයරාන් ද බස්නාහිරට ගෙශෙර් සහ එහි ගම් ද අස්සා සහ එහි ගම් ද දක්වා ෂෙකෙම් සහ එහි ගම් ද විය.</verse>
				<verse number="29">මනස්සේගේ ජනයාගේ සීමා දිගට බෙත්-ෂෙයාන් සහ එහි ගම් ද තයනාක් සහ එහි ගම් ද මෙගිද්දෝ සහ එහි ගම් ද දෝර් සහ එහි ගම් ද යන මේවා ය. මේවායෙහි ඉශ්රායෙල්ගේ පුත් ජෝසෙප්ගේ පුත්‍රයෝ වාසය කළෝ ය.</verse>
				<verse number="30">ආෂෙර්ගේ පුත්‍රයෝ නම්: ඉම්නා, ඉෂ්වා, ඉෂ්වී, බෙරියා සහ ඔවුන්ගේ සහෝදරී වූ සෙරා ය.</verse>
				<verse number="31">බෙරියාගේ පුත්‍රයෝ නම්: හෙබෙර් සහ මල්කියෙල් ය. ඔහු බිර්ශායිත්ගේ පියා ය.</verse>
				<verse number="32">හෙබෙර්ට දාව ජප්ලෙත් ද ෂෝමෙර් ද හෝතාම් ද ඔවුන්ගේ සහෝදරී වූ ෂුවා ද උපන්නෝ ය.</verse>
				<verse number="33">ජප්ලෙත්ගේ පුත්‍රයෝ නම්: පාසක්, බිම්හාල් සහ අෂ්වාත් ය. මොවුහු ජප්ලෙත්ගේ පුත්‍රයෝ ය.</verse>
				<verse number="34">ෂෙමෙර්ගේ පුත්‍රයෝ නම්: අහි, රොක්ගා, ජෙහුබ්බා සහ අරාම් ය.</verse>
				<verse number="35">ඔහුගේ සහෝදර වූ හේලෙම්ගේ පුත්‍රයෝ නම්: ශෝපා, ඉම්නා, ෂෙලෙස් සහ අමාල් ය.</verse>
				<verse number="36">ශොපාගේ පුත්‍රයෝ නම්: සුවා, හර්නෙපෙර්, ෂුවාල්, බේරී, ඉම්රා;</verse>
				<verse number="37">බෙශෙර්, හෝඩ්, ෂම්මා, ෂිල්ෂා, ඉත්රාන් සහ බෙයේරා ය.</verse>
				<verse number="38">ජෙතෙර්ගේ පුත්‍රයෝ නම්: ජෙපුන්නේ, පිස්පා සහ අරා ය.</verse>
				<verse number="39">උල්ලාගේ පුත්‍රයෝ නම්: ආරක්, හන්නියෙල් සහ රිසීයා ය.</verse>
				<verse number="40">මේ සියල්ලෝ ආෂෙර්ගේ පුත්‍රයෝ ය. ඔව්හු තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව උතුම් වූ බලවන්ත මනුෂ්‍යයන් ව; ප්‍රධාන අධිපතියන් ව සිටියෝ ය. පෙළපත් හැටියට යුද්ධ සේවයට ගණන් ගන්නා ලද්දෝ විසිහයදහසක් ය.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">බෙන්ජමින්ට දාව ඔහුගේ කුලුඳුලා වූ බෙලා ද දෙවැනියා වූ අෂ්බෙල් ද තුන්වැනියා වූ අහරා ද</verse>
				<verse number="2">සතරවැනියා වූ නෝහා ද පස්වැනියා වූ රාපා ද උපන්නෝ ය.</verse>
				<verse number="3">බෙලාට පුත්‍රයෝ සිටියෝ ය. එනම්: අද්දාර්, ගේරා, අබිහුද්,</verse>
				<verse number="4">අබිෂුවා, නාමාන්, අහෝවා,</verse>
				<verse number="5">ගේරා, ෂෙපුපාන් සහ හූරාම් ය.</verse>
				<verse number="6">ඒහුද්ගේ පුත්‍රයෝ ගෙබාහි වැසියන්ගේ පිය වංශවල ප්‍රධානියෝ ය. මොවුහු මානහත්හි විප්‍රවාසයට ගෙන යන ලදහ.</verse>
				<verse number="7">මොවුහු නම් නාමාන්, අහියා සහ ගේරා ය. ඔව්හු විප්‍රවාසයට ගෙන යන ලද්දේ ගේරා විසිනි. මොහුට දාව උශ්ශා ද අහිහුද් ද උපන්නෝ ය.</verse>
				<verse number="8">ෂහරයිම් ඔහුගේ භාර්යාවන් වූ හුෂිම් ද, බයරා ද අත්හැරියේ ය.</verse>
				<verse number="9">ඉන්පසු ඔහුට මෝවබ් රටේ දී ඔහුගේ භාර්යාව වූ හෝඩෙෂ්ගෙන් පුත්‍රයන් ලැබිණි. ඔව්හු නම්, ජෝබාබ්, ශීබියා, මේෂා, මල්කාම්,</verse>
				<verse number="10">ජෙවුශ්, ෂාකියා හා මිර්මා ය. මොවුහු ඔහුගේ පිය වංශවල ප්‍රධානියන් ව සිටියෝ ය.</verse>
				<verse number="11">හුෂිම්ගෙන් අබිතුබ් සහ එල්පයල් උපන්නෝ ය.</verse>
				<verse number="12">එල්පයල්ගේ පුත්‍රයෝ නම්: ඒබෙර්, මිෂාම් සහ ෂෙමෙඩ් ය. ෂෙමෙඩ් ඕනෝ ද ලොද් ද එහි ගම් ද ගොඩනැඟුවේ ය.</verse>
				<verse number="13">බෙරියා සහ ෂෙමා අයාලෝන්හි වැසියන්ගේ පිය වංශවල ප්‍රධානියෝ වූ හ. ඔව්හු ගාත්හි වැසියන් පන්නා දැමූ හ.</verse>
				<verse number="14">අහියෝ ද ෂාෂාක් ද ජෙරේමොත් ද;</verse>
				<verse number="15">සෙබදියා ද ආරාද් ද එදෙර් ද,</verse>
				<verse number="16">මිකායෙල් ද ඉෂ්පා ද ජෝහා ද බෙරියාගේ පුත්‍රයෝ ය.</verse>
				<verse number="17">සෙබදියා ද මෙෂුල්ලාම් ද හිස්කී ද හෙබෙර් ද,</verse>
				<verse number="18">ඉෂ්මෙරයි ද ඉස්ලියා ද ජෝබාබ් ද එල්පයල්ගේ පුත්‍රයෝ ය.</verse>
				<verse number="19">ජාකීම් ද ශික්රී ද ශබ්දී ද,</verse>
				<verse number="20">එලියේනයි ද ශිල්ලෙතයි ද එලියෙල් ද,</verse>
				<verse number="21">අදායා ද බෙරායා ද ෂිම්රාත් ද ෂිමෙයිගේ පුත්‍රයෝ ය.</verse>
				<verse number="22">ඉෂ්පාන් ද ඒබෙර් ද එලියෙල් ද,</verse>
				<verse number="23">අබ්දොන් ද ශික්රී ද හානාන් ද,</verse>
				<verse number="24">හනනියා ද ඒලාම් ද අන්තොතියා ද,</verse>
				<verse number="25">ඉප්දෙයා ද පෙනූයෙල් ද ෂාෂාක්ගේ පුත්‍රයෝ ය.</verse>
				<verse number="26">ෂම්ෂෙරයි ද ෂෙහරියා ද අතලියා ද,</verse>
				<verse number="27">ජාරෙෂියා ද එලියා ද ශික්රී ද ජෙරොහාම්ගේ පුත්‍රයෝ ය.</verse>
				<verse number="28">මොවුහු තමන්ගේ පරම්පරාවලින් පිය පෙළපත්වල මූලික ප්‍රධානියන් ව සිටියෝ ය. මොවුහු ජෙරුසලමෙහි විසුවෝ ය.</verse>
				<verse number="29">ගිබියොන්ගේ පිය වූ ජෙයීයෙල් ගිබියොන්හි විසුවේ ය, ඔහුගේ භාර්යාවගේ නම මයකා ය.</verse>
				<verse number="30">ඔහුගේ කුලුඳුල් පුත්‍රයා අබ්දොන් ය; අනික් පුත්‍රයෝ ශූර්, කිෂ්, බාල්, නාදාබ්,</verse>
				<verse number="31">ගෙදෝර්, අහියෝ සහ සෙකෙර් ය.</verse>
				<verse number="32">මික්ලොත්ට දාව ෂිමෙයා උපන්නේ ය. ඔව්හු ද තමන්ගේ සහෝදරයන් සමඟ තමන්ගේ සහෝදරයන් ඉදිරිපිටින් ජෙරුසලමෙහි වාසය කළෝ ය.</verse>
				<verse number="33">නේර්ට දාව කිෂ් ද කිෂ්ට දාව සාවුල් ද සාවුල්ට දාව ජොනතන් ද මල්කී-ෂුවා ද අබිනාදාබ් ද එෂ්බාල් ද උපන්නෝ ය.</verse>
				<verse number="34">මෙරිබ්-බාල් ජොනතන්ගේ පුත්‍රයා ය. මෙරිබ්-බාල්ට දාව මීකා උපන්නේ ය.</verse>
				<verse number="35">මීකාගේ පුත්‍රයෝ නම්: පීතොන්, මෙලෙක්, තාරෙයා සහ ආහාස් ය.</verse>
				<verse number="36">ආහාස්ට දාව ජෙහෝවද්දා ද ජෙහෝවද්දාට දාව අල්ලෙමෙත් ද අශ්මාවෙත් ද සිම්රී ද උපන්නෝ ය. සිම්රීට දාව මෝශා ද</verse>
				<verse number="37">මෝශාට දාව බීනෙයා ද උපන්නෝ ය. ඔහුගේ පුත්‍රයා රාපා ය. ඔහුගේ පුත්‍රයා එලෙයාසා ය. ඔහුගේ පුත්‍රයා ආශෙල් ය.</verse>
				<verse number="38">ආශෙල්ට පුත්‍රයෝ හයදෙනෙක් සිටියෝ ය. ඔවුන්ගේ නම් මේවා ය: අශ්රීකාම්, බොකෙරු, ඉෂ්මායෙල්, ෂෙයරියා, ඔබදියා සහ හානාන් ය. මේ සියල්ලෝ ආශෙල්ගේ පුත්‍රයෝ ය.</verse>
				<verse number="39">ඔහුගේ සහෝදර වූ එෂෙක්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ කුලුඳුලා වූ ඌලාම් ය. දෙවැනියා වූ ජෙවූෂ් ය; තුන්වැනියා වූ එලිපෙලෙත් ය.</verse>
				<verse number="40">ඌලාම්ගේ පුත්‍රයෝ බලවන්ත මනුෂ්‍යයන් ව, දුනුකාරයන් ව සිටියෝ ය. ඔවුන්ට පුත්‍රයෝ ද පුත්‍රයන්ගේ පුත්‍රයෝ ද බොහෝ දෙනෙක් එනම්, එකසියපණහක් සිටියෝ ය. මේ සියල්ලෝ බෙන්ජමින්ගේ පුත්‍රයෝ ය.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">මෙසේ සියලු ඉශ්රායෙල්වරු පෙළපත් වශයෙන් ලියවුණෝ ය. ඒවා ඉශ්රායෙල් රජවරුන්ගේ පොතේ ලියා තිබේ. ජුදාවරු තමන්ගේ ද්‍රෝහිකම් නිසා බබිලෝනියට ගෙන යන ලද්දෝ ය.</verse>
				<verse number="2">ආපසු අවුත් තමන්ගේ උරුම කොටස්වල ද නගරවල ද වාසය කළ අය නම්: ඉශ්රායෙල්වරුන්ගේ පුජකයෝත්, ලෙවීවරුත්, දේව මාලිගාවේ මෙහෙකරුවන් වන නෙතිනීම්වරුත් ය.</verse>
				<verse number="3">ජුදා ගෝත්‍රයෙනුත්, බෙන්ජමින් ගෝත්‍රයෙනුත්, එප්‍රායිම් සහ මනස්සේ ගෝත්‍රයෙනුත් ජෙරුසලමෙහි වාසය කළ අය නම්:</verse>
				<verse number="4">ජුදාගේ පුත්‍රයා වන පෙරෙශ්ගේ පුත්‍රයන්ගෙන් බානිගේ පුත් ඉම්රිගේ පුත්‍රයා වන ඔම්රීගේ පුත් අම්මිහුද්ගේ පුත්‍රයා වන ඌතයි ය.</verse>
				<verse number="5">ෂිලෝනිවරුන්ගෙන් කුලුඳුලා වූ අසායා සහ ඔහුගේ පුත්‍රයෝ ය.</verse>
				<verse number="6">ශෙරාගේ පුත්‍රයන්ගෙන් ජෙවුයෙල් සහ ඔවුන්ගේ සහෝදරයෝ හයසිය අනූදෙනෙක් ය.</verse>
				<verse number="7">බෙන්ජමින් ගෝත්‍රයෙනුත් හස්සෙනුවාගේ පුත්‍රයා වන හෝදවියාගේ පුත් මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන සල්ලු ද</verse>
				<verse number="8">ජෙරොහාම්ගේ පුත් ඉබ්නෙයා ද මික්රීගේ පුත්‍රයා වන උශ්ශිගේ පුත් ඒලා ද ඉබ්නියාගේ පුත්‍රයා වන රෙවුයෙල්ගේ පුත් ෂෙපටියාගේ පුත්‍රයා වන මෙෂුල්ලාම් ද;</verse>
				<verse number="9">ඔවුන්ගේ පරම්පරාවල හැටියට ඔවුන්ගේ සහෝදරයෝ නවසිය පණස්හයදෙනෙක් ද යන අය ය. මේ සියලු මනුෂ්‍යයෝ තම තමන්ගේ පිය වංශ ලෙස පිය වංශවල ප්‍රධානියෝ වූ හ.</verse>
				<verse number="10">පූජකයන්ගෙන් ජෙදායා ද ජෙහෝයාරීබ් ද ජාකීන් ද;</verse>
				<verse number="11">දෙවියන් වහන්සේගේ මාලිගාවට අධිපතියා වූ අහිතුබ්ගේ පුත්‍රයා වන මෙරායොත්ගේ පුත් ශාදොක්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත් හිල්කියාගේ පුත්‍රයා වන අශරියා ද;</verse>
				<verse number="12">මල්කියාගේ පුත්‍රයා වන පෂ්හුර්ගේ පුත් ජෙරොහාම්ගේ පුත්‍රයා වන අදායා ද ඉම්මේර්ගේ පුත් මෙෂිල්ලේමිත්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත් ජාසේරාගේ පුත්‍රයා වන අදීයෙල්ගේ පුත් මයසයි ද;</verse>
				<verse number="13">තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් වූ දෙවියන් වහන්සේගේ මාලිගාවේ මෙහෙයේ කටයුතු කිරීමට ඉතා සමර්ථ වූ ඔවුන්ගේ සහෝදරයන් වන එක්දාස් සත්සිය හැටදෙනෙක් ද යන අය වෙත්.</verse>
				<verse number="14">ලෙවීවරු නම්: මෙරාරීගේ පුත්‍රයන්ගෙන් හෂබියාගේ පුත්‍රයා වන අශ්රිකාම්ගේ පුත් හෂ්ෂුබ්ගේ පුත්‍රයා වන ෂෙමායා ය;</verse>
				<verse number="15">බක්බක්කර්, හෙරෙෂ්, ගාලාල් සහ ආසාප්ගේ පුත් ශික්රීගේ පුත්‍රයා වන මීකාගේ පුත් මත්තනියා ය;</verse>
				<verse number="16">ජෙදූතුන්ගේ පුත්‍රයා වන ගාලාල්ගේ පුත් ෂෙමෙයියාගේ පුත්‍රයා වන ඔබදියා ය; නෙටෝපාතිවරුන්ගේ ගම්වල විසූ එල්කානාගේ පුත්‍රයා වන ආසාගේ පුත් බෙරෙකියා ය.</verse>
				<verse number="17">දොරටු පාලකයන් වූ ෂල්ලුම්, අක්කුබ්, ටල්මොන්, අහිමාන් සහ ඔවුන්ගේ සහෝදරයෝත් ය. ෂල්ලුම් ප්‍රධානියා ය.</verse>
				<verse number="18">මේ දක්වා මොවුහු ලෙවීගේ පුත්‍රයන්ගේ කඳවුරු උදෙසා නැගෙනහිරට තිබෙන රජුගේ දොරටුවේ දොරටු පාලකයෝ වූ හ.</verse>
				<verse number="19">කෝරාගේ පුත් එබියාසාප්ගේ පුත්‍රයා වන කෝරේගේ පුත් වූ ෂල්ලුම් ද ඔහුගේ පිය වංශයට අයිති ඔහුගේ සහෝදරයන් වන කොරහිවරු ද සේවයේ කටයුතුවලට පත් වී සභා මණ්ඩප දොරටුවල රැකවල්ලු වූ හ. ඔවුන්ගේ පියවරු සමිඳාණන් වහන්සේගේ කඳවුරට ඇතුල් වන තැන රැකවලුන් ලෙස සිටියෝ ය.</verse>
				<verse number="20">එලෙයාසර්ගේ පුත් පිනෙහාස් පළමු ව ඔවුන් කෙරෙහි අධිපතියා ව සිටියේ ය. සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිටි සේක.</verse>
				<verse number="21">මෙෂෙලෙමියාගේ පුත් ශෙකරියා සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දොරටු පාලකයා ව සිටියේ ය.</verse>
				<verse number="22">දොරකඩවල දොරටු පාලකයන් කොට තෝරාගන්න ලද ඒ සියල්ලෝ දෙසිය දොළොස්දෙනෙක් ය. ඔවුන්ගේ ගම්වල හැටියට ඔව්හු ලියාපදිංචි වූ හ. දාවිත් සහ දිවැසිවරයා වූ සාමුවෙල් ද ඔවුන්ගේ නිලවලට ඔවුන් පත් කළෝ ය.</verse>
				<verse number="23">ඔව්හු ද ඔවුන්ගේ පුත්‍රයෝ ද ගෘහ මණ්ඩපය වන සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරටු මාරුවෙන් මාරුවට මුර කළහ.</verse>
				<verse number="24">නැගෙනහිර ද බස්නාහිර ද උතුර ද දකුණ ද යන සතර පැතිවල දොරටු පාලකයෝ සිටියෝ ය.</verse>
				<verse number="25">ඔවුන්ගේ ගම්වල සිටි ඔවුන්ගේ සහෝදරයෝ ද සත් දවසකට වරක් ඔවුන් සමඟ මාරුවෙන් මාරුවට ආවෝ ය.</verse>
				<verse number="26">මන්ද, ඒ ලෙවීවරුන් වන ප්‍රධාන දොරටු පාලකයන් සතරදෙනා නියම නිලයෙහි සිට දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි ඇතුළු ගෙවල් ද ගබඩාවල් ද බලාගත්හ.</verse>
				<verse number="27">දෙවියන් වහන්සේගේ මාලිගාව රැකවල් කිරීම ඔවුන්ගේ යුතුකම ව තිබුණු නිසා ඔව්හු ඒ මාලිගාව වටකර නැවතී සිටියෝ ය. උදයෙන් උදය එහි දොරවල් ඇරීම ඔවුන්ගේ බාරේ තිබුණේ ය.</verse>
				<verse number="28">ලෙවීවරුන්ගෙන් සමහරෙක් මෙහෙයට අයිති භාජන බලාගත්හ. මන්ද, ඒවා ඇතුළට ගන්නටත්, පිටතට ගන්නටත් යෙදුණේ ගණන් කළ පසු ව ය.</verse>
				<verse number="29">ඔවුන්ගෙන් සමහරෙක් බඩු බාහිරාදිය ද ශුද්ධස්ථානයේ සියලු භාජන ද සිහින් පිටි ද මුද්‍රික පානය ද තෙල් ද තුවරලා ද සුවඳ ද්‍රව්‍ය ද බලාගන්නට පත් කරන ලද්දෝ ය.</verse>
				<verse number="30">පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් සුවඳ ද්‍රව්‍යවලින් තෛලය සෑදුවෝ ය.</verse>
				<verse number="31">ලෙවීවරුන් අතරෙන් කොරහි ෂල්ලුම්ගේ කුලුඳුලා වූ මත්තිතියා ඇතිළිවල පිසූ දේ බලාගැනීමට පත් ව සිටියේ ය.</verse>
				<verse number="32">ඔවුන්ගේ සහෝදරයන් වන කොහාත්වරුන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් එක එක සබත් දවසේ පිදීමේ රොටි සූදානම් කිරීමට පත් ව සිටියෝ ය.</verse>
				<verse number="33">මොවුහු ගීතිකාකාරයන් ව ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව ඇතුළු ගෙවල වාසය කළෝ ය. රෑ දාවල් සේවයේ යෙදී සිටි නිසා මොවුහු අනික් මෙහෙයන්වලින් නිදහස් ව සිටියෝ ය.</verse>
				<verse number="34">මොවුහු තමන්ගේ පරම්පරාවල ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව ජෙරුසලමෙහි වාසය කළෝ ය.</verse>
				<verse number="35">ගිබියොන්ගේ පියා වූ ජෙයීයෙල් ගිබියොන්හි විසුවේ ය. ඔහුගේ භාර්යාවගේ නම මයකා ය.</verse>
				<verse number="36">ඔහුගේ කුලුඳුල් පුත්‍රයා අබ්දොන් ය; අනික් පුත්‍රයෝ ශුර්, කිෂ්, බාල්, නේර්, නාදාබ්,</verse>
				<verse number="37">ගෙදෝර්, අහියෝ, ශෙකරියා සහ මික්ලොත් ය.</verse>
				<verse number="38">මික්ලොත්ට දාව ෂිමෙයාම් උපන්නේ ය. මොවුහු තමන්ගේ සහෝදරයන් සමඟ තමන්ගේ සහෝදරයන් ඉදිරිපිට ජෙරුසලමෙහි වාසය කළෝ ය.</verse>
				<verse number="39">නේර්ට දාව කිෂ් ද කිෂ්ට දාව සාවුල් ද සාවුල්ට දාව ජොනතන් ද මල්කී-ෂුවා ද අබිනාදාබ් ද එෂ්බාල් ද උපන්නෝ ය.</verse>
				<verse number="40">මෙරිබ්-බාල් ජොනතන්ගේ පුත්‍රයා ය. මෙරිබ්-බාල්ට දාව මීකා උපන්නේ ය.</verse>
				<verse number="41">මීකාගේ පුත්‍රයෝ නම්: පීතොන්, මෙලෙක්, තාරෙයා සහ ආහාස් ය.</verse>
				<verse number="42">ආහාස්ට දාව ජයිරා උපන්නේ ය. ජයිරාට දාව අල්ලෙමෙත් ද අශ්මාවෙත් ද සිම්රි ද උපන්නෝ ය. සිම්රිට දාව මෝශා ද,</verse>
				<verse number="43">මෝශාට දාව බිනෙයා ද උපන්නෝ ය. ඔහුගේ පුත්‍රයා රෙපායා ය; ඔහුගේ පුත්‍රයා එලියාසා ය; ඔහුගේ පුත්‍රයා ආශෙල් ය.</verse>
				<verse number="44">ආශෙල්ට පුත්‍රයෝ හයදෙනෙක් සිටියෝ ය. ඔවුන්ගේ නාම නම්: අශ්රීකාම්, බොකෙරු, ඉෂ්මායෙල්, ෂෙයරියා, ඔබදියා සහ හානාන් ය. ආශෙල්ගේ පුත්‍රයෝ මොවුහු ය.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කළෝ ය. ඉශ්රායෙල්වරු පිලිස්තිවරුන් ඉදිරියෙන් පලා ගොස් ගිල්බොවා කන්දේ මැරී වැටුණෝ ය.</verse>
				<verse number="2">පිලිස්තිවරු සාවුල් ද ඔහුගේ පුත්‍රයන් ද ලුහුබැඳ එළවාගෙන ගොස් සාවුල්ගේ පුත් ජොනතන් ද අබිනාදාබ් ද මල්කී-ෂුවා ද මැරූ හ.</verse>
				<verse number="3">සටන සාවුල්ට විරුද්ධ ව තදබල විය. ඔහු දුනුවායන්ට අසු වී දුනුවායන් විසින් තුවාළ කරනු ලැබී ය.</verse>
				<verse number="4">එවිට සාවුල් තමාගේ ආයුධ ගෙනයන්නාට කතා කොට, “අර අචර්මඡේදිතයන් අවුත්, මට අවමන් නොකරන පිණිස ඔබේ කඩුව ඇද මට අනින්නැ”යි කී ය. එහෙත්, ඔහුගේ ආයුධ ගෙනයන්නා ඊට කැමැති වූයේ නැත. ඔහු එසේ කරන්නට බොහෝ සෙයින් බිය විය. එබැවින් සාවුල් තමාගේ කඩුව ගෙන තෙමේ ම එය පිට වැටුණේ ය.</verse>
				<verse number="5">සාවුල් මැරුණ බව ඔහුගේ ආයුධ ගෙනයන්නා දැක, ඔහුත් තමාගේ කඩුව පිට වැටී මළේ ය.</verse>
				<verse number="6">මෙසේ සාවුල් ද ඔහුගේ පුත්‍රයෝ තුන්දෙනා ද මළෝ ය. ඔහුගේ පවුලේ සියල්ලෝ එක විට මැරුණෝ ය.</verse>
				<verse number="7">ඉශ්රායෙල් මිනිසුන් පලා ගිය බවත්, සාවුල් සහ ඔහුගේ පුත්‍රයන් මැරුණු බවත් මිටියාවතෙහි සිටි සියලු ඉශ්රායෙල් මනුෂ්‍යයෝ දැක තමන්ගේ නගර අත්හැර පලා ගියහ. පිලිස්තිවරු අවුත් එහි වාසය කළෝ ය.</verse>
				<verse number="8">තවද, පසු දා පිලිස්තිවරු මැරුම්කෑවුන්ගෙන් කොල්ලය ගන්නට පැමිණි කල, සාවුල් ද ඔහුගේ පුත්‍රයන් ද ගිල්බොවා කන්දේ වැටී සිටිනු දුටුවෝ ය.</verse>
				<verse number="9">ඔව්හු ඔහුගේ ඇඳුම් ගලවා, ඔහුගේ හිසත් ආයුධත් රැගෙන, තමන්ගේ දේවාල වලත් සෙනඟටත් ප්‍රකාශ කරන පිණිස පිලිස්තිවරුන්ගේ දේශය මුළුල්ලෙහි ඒවා යැවූ හ.</verse>
				<verse number="10">ඔහුගේ ආයුධ ඔව්හු තමන්ගේ දෙවියන්ගේ ගෘහයෙහි තබා ඔහුගේ හිස දාගොන්ගේ ගෘහයෙහි එල්ලා තැබූ හ.</verse>
				<verse number="11">ජාබෙෂ්-ගිලියද්හි සියල්ලන් පිලිස්තිවරුන් සාවුල්ට කළ සියල්ල ඇසූ විට,</verse>
				<verse number="12">සියලු නිර්භීත මනුෂ්‍යයෝ පිටත් ව ගොස්, සාවුල්ගේ ශරීරය ද ඔහුගේ පුත්‍රයන්ගේ ශරීර ද රැගෙන ජාබෙෂ්ට අවුත්, ඔවුන්ගේ ඇටකටු ජාබෙෂ්හි ආලෝන ගස යට වළලා සත් දවසක් නිරාහාර ව සිටියහ.</verse>
				<verse number="13">සමිඳාණන් වහන්සේගේ වචනය රක්ෂා නොකිරීමෙන් උන් වහන්සේට විරුද්ධ ව කළ වරද නිසාත්, උන් වහන්සේගෙන් නොවිචාරා ආත්මබන්ධනකාරියකගෙන් කරුණු අසා විචාළ නිසාත් සාවුල් මෙසේ නැසුණේ ය.</verse>
				<verse number="14">ඒ නිසා උන් වහන්සේ ඔහු නසා, රජකම අහක් කොට ජෙස්සේගේ පුත් දාවිත්ට එය දුන් සේක.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">එකල සියලු ඉශ්රායෙල්වරු හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙත රැස් වී කතා කොට, “බලන්න අපි ඔබේ ම ලේ නෑයෝ වමු.</verse>
				<verse number="2">පසුගිය කාලවල සාවුල් රජ ව සිටිය දී පවා, ඉශ්රායෙල්වරුන් යුද්ධයට ගෙන ගියේ ද ආපසු ගෙනාවේ ද ඔබ ය. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, ‘නුඹ මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් පාලනය කරන්නෙහි ය, නුඹ මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා වන්නෙහි ය’ කියා ඔබට වදාළ සේකැ”යි කීවෝ ය.</verse>
				<verse number="3">මෙලෙස ඉශ්රායෙල්හි සියලු ප්‍රජා මූලිකයෝ හෙබ්‍රොන්හි සිටි රජු වෙත පැමිණියා හ. දාවිත් ද හෙබ්‍රොන්හි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේ ය. ඔව්හු සමිඳාණන් වහන්සේ සාමුවෙල් ලවා කියෙවු වචනය ලෙස දාවිත් ඉශ්රායෙල්වරුන්ගේ රජ කොට අභිෂේක කළෝ ය.</verse>
				<verse number="4">පසු ව දාවිත් ද සියලු ඉශ්රායෙල්වරු ද ජෙබුස නම් වූ ජෙරුසලමට විරුද්ධ ව ගියෝ ය. දේශ වාසී වූ ජෙබුසිවරු එහි සිටියෝ ය.</verse>
				<verse number="5">ජෙබුසිවරු කතා කොට, “ඔබ මෙහි ඇතුල් නොවන්නෙහි ය”යි දාවිත්ට කීවෝ ය. එහෙත්, දාවිත් සියොන් බලකොටුව අල්ලාගත්තේ ය. එය දාවිත්ගේ නුවර විය.</verse>
				<verse number="6">දාවිත් කතා කොට, “මුලින් ම ජෙබුසිවරයෙකුට පහර දෙන කවරෙකු නමුත්, ඔහු ප්‍රධානියා ද අධිපතියා ද වන්නේ ය”යි කීවේ ය. ශෙරුයාගේ පුත් ජෝවාබ් මුලින් ම නැඟිට ගොස් ප්‍රධානියා වුණේ ය.</verse>
				<verse number="7">දාවිත් බලකොටුවෙහි වාසය කෙළේ ය. ඒ නිසා ඊට දාවිත්ගේ නුවර යයි නම් කෙළේ ය.</verse>
				<verse number="8">ඔහු මිල්ලෝ නම් ස්ථානයෙන් පටන් ගෙන ඊට ආසන්න ප්‍රදේශය ම වටකර නුවර ගොඩනැඟුවේ ය. ජෝවාබ් නුවර ඉතිරි කොටස අලුත්වැඩියා කෙළේ ය.</verse>
				<verse number="9">දාවිත් වඩ වඩා උසස් වූයේ ය. සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ ඔහු සමඟ වැඩ සිටි සේක.</verse>
				<verse number="10">ඉශ්රායෙල් වංශය ගැන සමිඳාණන් වහන්සේ වදාළ වචනය ප්‍රකාරයට, දාවිත් රජකමට පත් කරන පිණිස, සියලු ඉශ්රායෙල්වරුන් සමඟ ඔහු රජකමට පත් කිරීම ගැන ඔහුට උපකාර කළ ප්‍රධාන බලවන්තයෝ මොවුහු ය.</verse>
				<verse number="11">දාවිත්ට සිටි බලවන්තයන්ගේ නාමාවලිය මේ ය: හක්මෝනි ජාතිකයෙකුගේ පුත්‍රයා වන තිස්දෙනාගෙන් ප්‍රධානියා වූ ජාෂොබෙයාම් ය. ඔහු එක් වතාවක දී තුන්සියදෙනෙකුට විරුද්ධ ව තමාගේ හෙල්ලය ඔසවා ඔවුන් මැරී ය.</verse>
				<verse number="12">ඊළඟට අහෝහිය ජාතික දෝදෝගේ පුත් එලෙයාසර් ය. ඔහු බලවන්තයන් තුන්දෙනාගෙන් එක් කෙනෙක් ය.</verse>
				<verse number="13">පිලිස්තිවරුන් යුද්ධයට සැරසී සිටි පැස්-දම්මිම් නම් ස්ථානයෙහි යව රැස්කොට තිබුණු කෙතක ඔහු දාවිත් සමඟ සිටියේ ය. සෙනඟ පිලිස්තිවරුන් ඉදිරියෙන් පලා ගියෝ ය.</verse>
				<verse number="14">ඔව්හු ඒ කෙත මැද සිට එය ආරක්ෂා කරගෙන පිලිස්තිවරුන් මැරුවෝ ය. සමිඳාණන් වහන්සේ මහා ජයක් ලබා දී ඔවුන් ගැළවූ සේක.</verse>
				<verse number="15">ප්‍රධාන තිස්දෙනාගෙන් තුන්දෙනෙක් අදුල්ලම් ගුහාවේ නැවතී සිටි දාවිත්ට එකතු වන පිණිස පර්වතයට ගියෝ ය. පිලිස්තිවරුන්ගේ හමුදාව රෙපාවරුන්ගේ මිටියාවතෙහි කඳවුරු බැඳගෙන සිටියෝ ය.</verse>
				<verse number="16">දාවිත් එවකට බලකොටුවෙහි සිටියේ ය. පිලිස්තිවරුන්ගේ මුර සේනාව එවකට බෙත්ලෙහෙමෙහි සිටියෝ ය.</verse>
				<verse number="17">දාවිත් තද ආසාවෙන් සුසුම්ලමින්, “අනේ, බෙත්ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳෙන් කෙනෙකු මට බොන්නට වතුර ගෙනවුත් දුන්නොත් කොපමණ හොඳ ද” කියා කීවේ ය.</verse>
				<verse number="18">එවිට තුන්දෙනා පිලිස්තිවරුන්ගේ හමුදාව මැදින් බිඳගෙන ගොස්, බෙත්ලෙහෙම් දොරටුව සමීපයෙහි වූ ළිඳෙන් වතුර ඇද දාවිත් වෙත ගෙනා හ. එහෙත්, දාවිත් එය බොන්නට අකමැති ව, ඒවා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජාවක් ලෙස වත් කොට,</verse>
				<verse number="19">“මේ දේ කිරීමෙන් මාගේ දෙවියන් වහන්සේ මා වළක්වන සේක් වා! තමන්ගේ ජීවිතයට විය හැකි අන්තරාය නොසලකා ගිය මේ මනුෂ්‍යයන්ගේ ලේ මා බොන්න ද? මන්ද, ඔව්හු තමන්ගේ ජීවිත ගැන නොතකා මේවා ගෙනා හ”යි කී ය. එහෙයින් ඔහු ඒ වතුර බොන්න අකමැති විය. බලවන්තයෝ තුන්දෙනා මේ දේ කළෝ ය.</verse>
				<verse number="20">ජෝවාබ්ගේ සහෝදර වූ අබිෂයි තිස්දෙනාගෙන් ප්‍රධානියා ව සිටියේ ය. ඔහු තමාගේ හෙල්ලය තුන්සියදෙනෙකුට විරුද්ධ ව ඔසවා, ඔවුන් මරා, තිස්දෙනා අතරේ කීර්තිය ලැබී ය.</verse>
				<verse number="21">තිස්දෙනාට වඩා ප්‍රසිද්ධ වූයෙන් ඔහු ඔවුන්ගේ අධිපතියා විය. එසේ වී නමුත්, ඔහු පළමු වන තුන්දෙනා තරම් ප්‍රසිද්ධියට නොපැමිණියේ ය.</verse>
				<verse number="22">බොහෝ වීර ක්‍රියා කළ කබ්ශෙයෙල්හි වික්‍රමාන්විත මනුෂ්‍යයෙකුගේ පුත් ජෙහෝයාදාගේ පුත්‍රයා වන බෙනායා මෝවබ්හි ශ්‍රේෂ්ඨ සෙබළුන් දෙදෙනා මැරුවේ ය. ඔහු හිම වැටෙන දවසක දී වළකට බැස ගොස් එහි ඇතුළේ සිටි සිංහයෙකු මැරුවේ ය.</verse>
				<verse number="23">ඔහු මීටර් දෙකක් පමණ උස තරබාරු මනුෂ්‍යයෙකු වූ මිසර ජාතිකයෙකුත් මැරී ය. මිසරයාගේ අතේ වියන යන්ත්‍රයක දණ්ඩක් වැනි හෙල්ලයක් තිබුණේ ය. ඔහු පොල්ලක් ඇති ව මිසර ජාතිකයා ළඟට ගොස්, ඔහුගේ අතින් හෙල්ලය උදුරා, ඔහුගේ ම හෙල්ලයෙන් ඔහු මරා දැමුවේ ය.</verse>
				<verse number="24">ජෙහෝයාදාගේ පුත් බෙනායා මේ වීර ක්‍රියා කොට බලවන්තයන් තිස්දෙනා අතරේ කීර්තිය ලැබී ය.</verse>
				<verse number="25">ඔහු ඒ තිස්දෙනාට වඩා ප්‍රසිද්ධ කෙනෙක් විය. ඒ නමුත්, ඔහු පළමු වන තුන්දෙනාගේ ගණනට පැමිණියේ නැත. දාවිත් තමාගේ ආරක්ෂක මුර හමුදාව කෙරෙහි ඔහු පත් කෙළේ ය.</verse>
				<verse number="26">සේනාවල බලවන්තයෝ නම්: ජෝවාබ්ගේ සහෝදරයා වූ අසාහෙල් ය; බෙත්ලෙහෙමේ දෝදෝගේ පුත් එල්හානාන් ය;</verse>
				<verse number="27">හරෝරීය ෂම්මොත් ය; පෙලෝනීය හෙලෙශ් ය;</verse>
				<verse number="28">තෙකෝයිය ඉක්කෙෂ්ගේ පුත් ඊරා ය; අනතෝතිය අබියෙශෙර් ය;</verse>
				<verse number="29">හුෂාතිය සිබ්බෙකයි ය; අහෝහිය ඉලයි ය;</verse>
				<verse number="30">නෙටෝපාතිය මහරයි ය; නෙටෝපාතිය බානාගේ පුත් හේලෙද් ය.</verse>
				<verse number="31">බෙන්ජමින් ගෝත්‍රයේ ගිබියාහි රීබයිගේ පුත් ඊතයි ය; පීරාතෝනිය බෙනායා ය;</verse>
				<verse number="32">ගායෂ් ඔයවල හූරයි ය; අර්බාතිය අබියෙල් ය;</verse>
				<verse number="33">බහරුමිය අශ්මාවෙත් ය; ෂාල්බොනිය එලියාබා ය;</verse>
				<verse number="34">ගිසොනිය හාෂෙම්ගේ පුත්‍රයෝ ය; හරාරීය ෂාගේගේ පුත් ජොනතන් ය;</verse>
				<verse number="35">හරාරීය සාකාර්ගේ පුත් අහියාම් ය; ඌර්ගේ පුත් එලිපාල් ය;</verse>
				<verse number="36">මෙකේරාතිය හේපෙර් ය; පෙලෝනීය අහියා ය;</verse>
				<verse number="37">කර්මෙලිය හශේරො ය; එශ්බයිගේ පුත් නයරයි ය;</verse>
				<verse number="38">නාතාන්ගේ සහෝදර වූ ජෝවෙල් ය; හග්රීගේ පුත් මිබ්හාර් ය;</verse>
				<verse number="39">අම්මොනිය ශෙලෙක් ය; ශෙරුයාගේ පුත් ජෝවාබ්ගේ ආයුධ ගෙනයන්නා වන බෙරොතිය නහරයි ය;</verse>
				<verse number="40">ඉත්රීය ඊරා ය; ඉත්රීය ගාරෙබ් ය;</verse>
				<verse number="41">හිත්තීය උරියා ය; ආලයිගේ පුත් සාබාද් ය;</verse>
				<verse number="42">රූබන්වරුන්ගේ ප්‍රධානියා ව සිටි රූබන් ගෝත්‍රයේ ෂිශාගේ පුත් අදීනා ය. ඔහු සමඟ තිස්දෙනෙක් සිටියෝ ය.</verse>
				<verse number="43">මයකාගේ පුත් හානාන් ය; මිත්නිය ජොෂාපාට් ය;</verse>
				<verse number="44">අෂ්තෙරාතිය උශ්ශියා ය; අරෝයේරිය හෝතාම්ගේ පුත්‍රයන් වූ ෂාමා සහ ජෙයීයෙල් ය.</verse>
				<verse number="45">ෂිම්රීගේ පුත් ජෙදීයයෙල් සහ ඔහුගේ සහෝදර වූ තිශිය ජෝහා ය;</verse>
				<verse number="46">මහවිය එලීයෙල් ය; එල්නයම්ගේ පුත්‍රයන් වූ ජෙරිබයි සහ ජෝෂාවියා ය; මෝවබ් ජාතික ඉත්මා ය;</verse>
				<verse number="47">එලියෙල් ය; ඕබෙද් ය; මෙසොබාය වූ ජයසීයෙල් ය.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">කිෂ්ගේ පුත් සාවුල් නිසා දාවිත් සැඟවී ශික්ලග්හි සිටිය දී ඔහු ළඟට පැමිණි මනුෂ්‍යයෝ මොවුහු ය. මොවුහු යුද්ධයේ දී ඔහුට උපකාර වූ බලවන්තයන්ගේ ගණනට අයිති වූ හ.</verse>
				<verse number="2">ඔව්හු දකුණතින් ද වමතින් ද ගල්විසි කරන්නත්, දුන්නෙන් ඊ ගස් විදින්නත් පුරුදු දුනුවායන් ව, බෙන්ජමින්ගේ වංශයට අයිති වූ සාවුල්ගේ සහෝදරයන් ව සිටියෝ ය.</verse>
				<verse number="3">එනම්, ප්‍රධානියා වූ අහියේසෙර් සහ ජෝවාෂ් ය. ඔව්හු ගිබියාහි ෂෙමායාගේ පුත්‍රයෝ ය. අශ්මාවෙත්ගේ පුත්‍රයන් වූ ජෙසීයෙල් සහ පෙලෙට් ය; බෙරාකා ය; අන්තෝතිය ජේහු ය.</verse>
				<verse number="4">බලවන්තයන් තිස්දෙනාගෙන් එක් කෙනෙකු ව, තිස්දෙනාගේ ප්‍රධානියා ව සිටි ගිබියොන්හි ඉෂ්මයියා ය; ජෙරමියා ය; ජහසියෙල් ය; ජෝහානාන් ය; ගෙදේරාතිය ජොසාබාද් ය;</verse>
				<verse number="5">එල්යුශයි ය; ජෙරිමොත් ය; බෙයාලියා ය; ෂෙමරියා ය; හරුපිය ෂෙපතියා ය;</verse>
				<verse number="6">එල්කානා සහ ඉෂ්ෂියා ද අශරියෙල් ද ජෝවෙශෙර් ද ජෂොබෙයාම් ද යන කොරාවරු ය.</verse>
				<verse number="7">ගෙදෝර්හි ජෙරොහාම්ගේ පුත්‍රයන් වූ ජොයේලා සහ සෙබදියා ය.</verse>
				<verse number="8">ගාද්වරුන්ගෙනුත් බලවන්ත මනුෂ්‍යයෝ වෙන් ව ගොස් දාවිත් වෙත පාළුකරයේ බලකොටුවට එක් වූවෝ ය. ඔව්හු යුද්ධයට පුහුණු වූ, පලිහත් හෙල්ලයත් දරන්න සමර්ථ වූ, සිංහ මුහුණු වැනි මුහුණු ඇති වේගවත්කමින් කඳුවල තිත් මුවන්ට සමාන වූ මනුෂ්‍යයෝ ය.</verse>
				<verse number="9">ප්‍රධානියා එශෙර් ය; දෙවැනියා ඔබදියා ය; තුන්වැනියා එලියාබ් ය;</verse>
				<verse number="10">සතරවැනියා මිෂ්මන්නා ය; පස්වැනියා ජෙරමියා ය;</verse>
				<verse number="11">හයවැනියා අත්තයි ය; හත්වැනියා එලියෙල් ය;</verse>
				<verse number="12">අටවැනියා ජෝහානාන් ය; නවවැනියා එල්ශාබාද් ය;</verse>
				<verse number="13">දසවැනියා ජෙරෙමියා ය; එකොළොස්වැනියා මක්බන්නයි ය.</verse>
				<verse number="14">ගාද්ගේ පුත්‍රයන් වූ මොවුහු සේනාවට මුලාදෑනියන් ව සිටියෝ ය. මොවුන්ගෙන් කුඩා තැනැත්තා සියයකටත්, ලොකු තැනැත්තා දහසකටත් සෙන්පතියෝ වූ හ.</verse>
				<verse number="15">මොවුහු පළමු වන මාසයේ, ජොර්දාන් ගඟේ වතුර එහි සියලු ඉවුරු තළා ගලා තිබිය දී, එගොඩ වී නැගෙනහිරෙත් බස්නාහිරෙත් මිටියාවත්වල වාසය කළ සියල්ලන් එළවා දැමූහ.</verse>
				<verse number="16">බෙන්ජමින්ගේ ද ජුදාගේ ද සෙනඟගෙනුත් සමහරෙක් දාවිත් වෙත බලකොටුවට ආවෝ ය.</verse>
				<verse number="17">දාවිත් ඔවුන් සම්බ වන්න පිටතට ගොස්, ඔවුන්ට කතා කොට, “ඔබ හැම මට උපකාර කරන්න සාමදානයෙන් මා ළඟට ආවහු නම්, මාගේ සිත ඔබ කෙරෙහි ඇළුම් වන්නේ ය. එහෙත්, මා අත වරදක් නැති ව තිබෙද්දී, මාගේ එදිරිකාරයන්ට මා පාවා දෙන පිණිස ආවහු නම්, අපේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ එය බලා යුක්තිය ඉටු කරන සේක් වා!”යි කීවේ ය.</verse>
				<verse number="18">එවිට තිස්දෙනාගේ ප්‍රධානියා වූ අමාසයි පිට ආත්මයක් ආවේශ වී ඔහු කතා කරමින්, “දාවිත් රජතුමෙනි, අපි ඔබේ පක්ෂයට ද ජෙස්සේගේ පුත්‍රය, අපි ඔබ සමඟ ද සිටින්නෙමු. සාමදානය, සාමදානය ම ඔබට වේ වා! ඔබට උපකාර කරන්නන්ටත් සාමදානය වේ වා! මන්ද, ඔබේ දෙවියන් වහන්සේ ඔබට උපකාර කරන සේකැ”යි කීවේ ය. එවිට දාවිත් ඔවුන් පිළිගෙන ඔවුන් හමුදාවේ ප්‍රධානීන් කෙළේ ය.</verse>
				<verse number="19">තවද දාවිත්, පිලිස්තිවරුන් සමඟ සාවුල්ට විරුද්ධ ව සටනට ගිය විට මනස්සේවරුන්ගෙන් සමහරෙක් ද ඔහුට එකතු වුණෝ ය. එහෙත්, ඔව්හු පිලිස්තිවරුන්ට උපකාර නොකළෝ ය. මන්ද, පිලිස්තිවරුන්ගේ අධිපතීහු මන්ත්‍රණය කොට, “ඔහු අප අන්තරායට පමුණුවන ලෙස තම ස්වාමියා වූ සාවුල්ට එකතුවනු ඇතැ”යි ඔහු යන්න හැරියෝ ය.</verse>
				<verse number="20">එසේ ඔහු ශික්ලග් නම් ස්ථානයට යද්දී මනස්සේවරුන්ගෙන් සහශ්‍රාධිපතියන් වූ අද්නා ද ජොශාබාද් ද ජෙදීයයෙල් ද මිකායෙල් ද ජෝශාබාද් ද එලීහු ද ශිල්ලෙතයි ද ඔහුට එකතු වූ හ.</verse>
				<verse number="21">ඔව්හු කොල්ලකාර හමුදාවට විරුද්ධ ව දාවිත්ට උපකාර කළෝ ය. මන්ද, ඔව්හු සියල්ලෝ ම බලවන්තයන් ව ද සේනාවේ අධිපතියන් ව ද සිටියෝ ය.</verse>
				<verse number="22">එසේ දෙවියන් වහන්සේගේ සේනාව වැනි මහත් සේනාවක් වන තෙක් දාවිත්ට උපකාර කරන පිණිස මිනිස්සු දවසින් දවස ඔහු ළඟට පැමිණියහ.</verse>
				<verse number="23">සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රකාරයට සාවුල්ගේ රජකම දාවිත්ට හරවා දෙන පිණිස යුද්ධයට සන්නද්ධ ව දාවිත් වෙත හෙබ්‍රොන්ට පැමිණි මනුෂ්‍යයන්ගේ ගණන මෙසේ ය:</verse>
				<verse number="24">ජුදා ගෝත්‍රයෙන් පලිහ ද හෙල්ලය ද දරන, යුද්ධයට සන්නද්ධ වූ හයදාස් අටසිය දෙනෙක් ය.</verse>
				<verse number="25">සිමියොන්ගේ ගෝත්‍රයෙන් යුද්ධයට බලවන්ත මනුෂ්‍යයෝ හත්දාස් එකසියයක් ය.</verse>
				<verse number="26">ලෙවීගේ ගෝත්‍රයෙන් හාරදාස් හයසියයක් ය.</verse>
				<verse number="27">ආරොන්ගේ වංශයේ අධිපතියා වූ ජෙහෝයාදා සහ ඔහු සමඟ තුන්දාස් හත්සියයක් ය.</verse>
				<verse number="28">බලවන්ත යෞවනයෙකු වූ ශාදොක් සහ ඔහුගේ පිය වංශයේ අධිපතිවරු විසිදෙදෙනෙක් ය.</verse>
				<verse number="29">සාවුල්ගේ සහෝදරයන් වූ බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් තුන්දහසක් ය. ඔවුන්ගෙන් වැඩි කොටස මේ වන තුරු සාවුල්ගේ වංශයට පක්ෂ ව සිටියෝ ය.</verse>
				<verse number="30">එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් බලවන්තයන් ව, තමන්ගේ පිය වංශවල කීර්තිමත් මනුෂ්‍යයන් ව සිටි විසිදාස් අටසියදෙනෙක් ය.</verse>
				<verse number="31">දාවිත් රජකමට පත් කිරීමට එන පිණිස මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් නම් සඳහන් කරනු ලැබූ දහඅටදාහක් ය.</verse>
				<verse number="32">ඉශ්රායෙල්වරුන් විසින් කරනු ලැබිය යුතු දේ කිමෙක් දැ යි දැනෙන හැටියට සටනට පිවිසෙන වකවානු තේරුම් ඇති ඉස්සාකර්ගේ ගෝත්‍රවල ප්‍රධානියෝ දෙසියදෙනෙක් ය; ඔවුන්ගේ සියලු සහෝදරයෝ ද ඔවුන්ගේ අණට යටත් ව සිටියෝ ය.</verse>
				<verse number="33">සාබුලොන්වරුන්ගෙන් සියලු ආකාර යුද්ධායුධ ඇති ව, යුද්ධ පිළිවෙළට පැමිණ තිර සිත් ඇති ව පිළිවෙළින් සිටින්න පුළුවන් වූ අය පණස්දහසක් ය.</verse>
				<verse number="34">නප්තලීවරුන්ගෙන් අධිපතිවරු දහසක් සහ ඔවුන් සමඟ පලිහ ද හෙල්ලය ද ඇති අය තිස්හත්දහසක් ය.</verse>
				<verse number="35">දාන්වරුන්ගෙන් සටනට සැරසී පැමිණෙන අය විසිඅටදාස් හයසියයක් ය.</verse>
				<verse number="36">ආෂෙර්වරුන්ගෙන් සටනට ගොස් සටනට සැරසී සිටින්න පුළුවන් අය සතළිස්දහසක් ය.</verse>
				<verse number="37">ජොර්දානෙන් එගොඩ රූබන්වරුන්ගෙන් ද ගාද්වරුන්ගෙන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ද සටනට සියලු ආකාර යුද්ධායුධ ඇති අය එක්ලක්ෂ විසිදහසක් ය.</verse>
				<verse number="38">යුද්ධ පිළිවෙළට පැමිණෙන්න පුළුවන් වූ මේ සියලු යුද්ධ භටයෝ සියලු ඉශ්රායෙල්වරුන් පාලනය කිරීම සඳහා දාවිත් රජකමට පත් කිරීමට සම්පූර්ණ සිතින් හෙබ්‍රොන්ට ආවෝ ය. අනික් සියලු ඉශ්රායෙල්වරුත් දාවිත් රජකමට පත් කිරීමට එක් සිත් ව සිටියෝ ය.</verse>
				<verse number="39">ඔව්හු ආහාර පාන වළඳමින් දාවිත් ළඟ තුන්දවසක් සිටියෝ ය. මන්ද, ඔවුන්ගේ සහෝදරයන් ඔවුන්ට එසේ පිළියෙළ කර තිබිණි.</verse>
				<verse number="40">තවද, ඉස්සාකර්ගේ ද සාබුලොන්ගේ ද නප්තලීගේ ද දේශ දක්වා ඔවුන් අසල සිටි අය කොටළුවන් ද ඔටුවන් ද අශ්වතරයන් ද ගොනුන් ද පිට රොටි සහ පිටි කෑමත්, වියළි අත්තික්කා කැටි සහ මිදි පොකුරුත්, මුද්‍රික පානයත්, තෙලුත්, ගොනුන් සහ බැටළුවනුත් බොහෝ සෙයින් ගෙන ආවෝ ය. මන්ද, ඉශ්රායෙල්වරුන් අතරෙහි ප්‍රීතිය ඇති වූයේ ය.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">දාවිත් සහශ්‍රාධිපතින් ද ශතාධිපතින් ද සියලු නායකයන් ද සමඟ මන්ත්‍රණය කරමින්,</verse>
				<verse number="2">මුළු ඉශ්රායෙල් සභාවට කතා කොට, “ඔබ හැමට මා කියන දේ හොඳ ය කියා පෙනේ නම්, අපේ දෙවි සමිඳාණන් වහන්සේත් ඊට කැමැති වන සේක් නම්, මුළු ඉශ්රායෙල් දේශයෙහි ඉතිරි ව සිටින අපේ සහෝදරයන්ට ද ඔවුන් සමඟ තමන්ගේ ගම් බිම් සහිත නගරවල සිටින පූජකයන්ට ද ලෙවීවරුන්ට ද අප ළඟට රැස්වන්න කියා සෑම දිශාවලට දන්වා යවා,</verse>
				<verse number="3">අපේ දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අප වෙත නැවත ගෙනෙමු. මන්ද, සාවුල්ගේ කාලයේ දී අපි එය ගැන නොසැලකුවෙමු”යි කීවේ ය.</verse>
				<verse number="4">මුළු සෙනඟගේ ඇස් හමුයෙහි එය කළ යුතු දෙයක් ලෙස පෙනුණු නිසා, එසේ කරන්න කැමැති බව මුළු සභාව කියා සිටියා ය.</verse>
				<verse number="5">ඒ නිසා, දාවිත් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කිරියත්-ජෙයාරීම් සිට ගෙනෙන පිණිස මිසරයේ ෂිහෝර් ඔය පටන් හමාත්ට ඇතුළු වන තැන දක්වා සිටි සියලු ඉශ්රායෙල්වරුන් රැස් කෙළේ ය.</verse>
				<verse number="6">කෙරුබ්වරුන් අතරේ වැඩ සිටින සමිඳාණන් වහන්සේගේ නාමය තබා තිබෙන දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ජුදාට අයිති බාලා නම් වූ කිරියත්-ජෙයාරීම් සිට ගෙනෙන පිණිස දාවිත් සහ සියලු ඉශ්රායෙල්වරු ද එහි ගියෝ ය.</verse>
				<verse number="7">ඔව්හු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අබිනාදාබ්ගේ ගෙයින් අලුත් රථයක තබා ගෙනාවෝ ය. උශ්ශා ද අහියෝ ද ගැල දැක්කුවෝ ය.</verse>
				<verse number="8">දාවිත් සහ සියලු ඉශ්රායෙල්වරු වීණා ද කුඩා වීණා ද රබන් ද නළා ද ඇති ව දෙවියන් වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් ගී ගයා නැටූ හ.</verse>
				<verse number="9">කීදොන්ගේ කමතට ආ කල රථයේ බැඳ සිටි හරක් දැඟලූ බැවින් ගිවිසුම් කරඬුව අල්ලන්න උශ්ශා තමාගේ අත දිගු කෙළේ ය.</verse>
				<verse number="10">එවිට සමිඳාණන් වහන්සේගේ උදහස උශ්ශාට විරුද්ධ ව ඇවුළුණේ ය. ඔහු ගිවිසුම් කරඬුවට තමාගේ අත දිගු කළ බැවින් උන් වහන්සේ ඔහුට පහර දුන් සේක. ඔහු එහි දී දෙවියන් වහන්සේ ඉදිරියෙහි මළේ ය.</verse>
				<verse number="11">සමිඳාණන් වහන්සේ උශ්ශාට දුන් හදිසි පහර නිසා දාවිත් අප්‍රසන්න විය. ඔහු ඒ ස්ථානයට උශ්ශා ප්‍රහාරය යන අර්ථය ඇති පෙරෙෂ්-උශ්ශා යන නාමය තැබී ය. ඒ නාමය අද දක්වා ඊට තිබේ.</verse>
				<verse number="12">ඒ දවසේ දී දාවිත් දෙවියන් වහන්සේට භය වී, “දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මා ළඟට කෙසේ ගෙනෙම් දැ”යි කීවේ ය.</verse>
				<verse number="13">ඒ නිසා දාවිත් ගිවිසුම් කරඬුව තමා වෙත දාවිත්ගේ නුවරට නොගෙන, අන් අතකට හරවා, එය හිත්තීය ජාතික ඕබෙද්-ඒදොම්ගේ ගෙට ගෙන ගියේ ය.</verse>
				<verse number="14">එසේ දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඕබෙද්-ඒදොම්ගේ පවුල සමඟ ඔවුන්ගේ ගෙයි තුන් මාසයක් තිබිණි. සමිඳාණන් වහන්සේ ඕබෙද්-ඒදොම්ගේ ගෙදරටත්, ඔහු සන්තක සියල්ලටත් ආශීර්වාද කළ සේක.</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">තීර්හි රජ වූ හීරාම් දාවිත්ට මාලිගාවක් ගොඩනැඟීම පිණිස ඔහු වෙත පණිවුඩකාරයන් ද කිහිරි ලී ද ගල් වඩුවන් ද වඩුවන් ද එවී ය.</verse>
				<verse number="2">දාවිත් ද තමා ඉශ්රායෙල්වරුන්ගේ රජ කොට සමිඳාණන් වහන්සේ විසින් ස්ථිර කරන ලද බව දැනගත්තේ ය. මන්ද, උන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් උදෙසා ඔහුගේ රාජ්‍යය සමෘද්ධිමත් වී තිබුණේ ය.</verse>
				<verse number="3">දාවිත් ජෙරුසලමේ දී තවත් භාර්යාවන් පාවාගත්තේ ය. දාවිත්ට දාව තව පුත්‍රයෝත්, දූවරුත් උපන්නෝ ය.</verse>
				<verse number="4">ජෙරුසලමේ දී ඔහුට උපන් පුත්‍රයන්ගේ නාම මෙසේ ය: ෂම්මුවා, ෂෝබාබ්, නාතාන් සහ සලමොන්;</verse>
				<verse number="5">ඉබ්හාර්, එලිෂුවා සහ එල්පෙලෙත්;</verse>
				<verse number="6">නොගා, නෙපෙග් සහ ජපියා,</verse>
				<verse number="7">එලිෂාමා, බෙයෙලියාදා සහ එලීපෙලෙත් ය.</verse>
				<verse number="8">දාවිත් මුළු ඉශ්රායෙල් ජාතිය කෙරෙහි රජ කොට අභිෂේක කරනු ලැබූ බව පිලිස්තිවරුන් ඇසූ කල, ඔව්හු සියල්ලෝ ම දාවිත් සොයා ආවෝ ය. දාවිත් ඒ අසා ඔවුන්ට විරුද්ධ ව පිටත් ව ගියේ ය.</verse>
				<verse number="9">පිලිස්තිවරු අවුත් රෙපායිම් මිටියාවතෙහි පැතිර ගොස් එය කොල්ලකෑවෝ ය.</verse>
				<verse number="10">දාවිත් කතා කොට, “මා පිලිස්තිවරුන්ට විරුද්ධ ව යන්න ද? ඔබ වහන්සේ ඔවුන් මා අතට පාවා දෙන සේක් ද?” කියා දෙවියන් වහන්සේගෙන් පිළිවිසී ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “යන්න, මම ඔවුන් නුඹේ අතට පාවා දෙමි”යි ඔහුට වදාළ සේක.</verse>
				<verse number="11">ඔව්හු බාල්-පෙරාශීම්ට ආවෝ ය. දාවිත් එහි දී ඔවුන්ට පහර දී, කතා කරමින්, “දෙවියන් වහන්සේ මා අතින් මාගේ සතුරන් ජලගැල්මක් මෙන් විසුරුවා හැරිය සේකැ”යි කීවේ ය. ඒ නිසා ඒ ස්ථානයට බාල්-පෙරාශීම් යන නම තැබී ය.</verse>
				<verse number="12">ඔව්හු තමන්ගේ දේව රූප එහි අත්හැර ගියෝ ය. එකල දාවිත් දුන් ආඥාව ලෙස ඒවා ගින්නෙන් පුළුස්සා දමන ලද්දේ ය.</verse>
				<verse number="13">නැවතත් පිලිස්තිවරු මිටියාවතෙහි පැතිර ගොස් එය කොල්ලකෑවෝ ය.</verse>
				<verse number="14">දාවිත් නැවත දෙවියන් වහන්සේගෙන් විචාළේ ය. දෙවියන් වහන්සේ ද උත්තර දෙමින්, “නුඹ ඔවුන් පස්සේ නොගොස්, ඔවුන් වෙතින් හැරී වටකරින් ගොස්, ඇඹිල්ල ගස්වලට ඉදිරිපිටින් ඔවුන් සමඟ සටනට යන්න.</verse>
				<verse number="15">තවද, ඇඹිල්ල ගස් මුදුන්වල අඩි ශබ්දයක් නුඹට ඇසෙන විට සටනට පිටත් ව යන්න. මන්ද, එවිට දෙවියන් වහන්සේ පිලිස්තිවරුන්ගේ සේනාවට පහර දෙන්න නුඹට පෙරටුවෙන් පිටත් ව යන සේකැ”යි ඔහුට වදාළ සේක.</verse>
				<verse number="16">දාවිත් දෙවියන් වහන්සේ අණ කළ ලෙස කෙළේ ය. ඔව්හු ගිබියොන් සිට ගෙශෙර් දක්වා පිලිස්තිවරුන්ගේ සේනාවට පහර දුන්නෝ ය.</verse>
				<verse number="17">දාවිත්ගේ කීර්තිය සියලු රටවල පතළ වී ගියේ ය. සමිඳාණන් වහන්සේ සියලු ජාතීන් තුළ ඔහු කෙරෙහි භයක් ඇති කළ සේක.</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">දාවිත් තමා උදෙසා ම දාවිත්ගේ නුවර ගොඩනැඟිලි සාදාගත්තේ ය. ඔහු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට ස්ථානයක් පිළියෙළ කොට ඊට කූඩාරමක් පිහිටෙව්වේ ය.</verse>
				<verse number="2">එවිට දාවිත් කතා කොට, “දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනයන්නටත්, හැම කල්හි ම උන් වහන්සේට සේවය කරන්නටත් සමිඳාණන් වහන්සේ ලෙවීවරුන් තෝරාගත් නිසා උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනයන්නට ඔවුන්ට මිස වෙන කාට වත් යුතු නැතැ”යි කීවේ ය.</verse>
				<verse number="3">දාවිත් තමා සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට පිළියෙළ කළ ස්ථානයට එය ගෙනෙන පිණිස සියලු ඉශ්රායෙල්වරුන් ජෙරුසලමට රැස් කෙළේ ය.</verse>
				<verse number="4">දාවිත්, ආරොන්ගේ පුත්‍රයන් ද ලෙවීවරුන් ද රැස් කෙළේ ය.</verse>
				<verse number="5">එසේ රැස් කරන ලද ගණන නම්, කොහාත්ගේ පුත්‍රයන්ගේ ප්‍රධානියා වූ උරියෙල් සහ ඔහුගේ සහෝදරයෝ එකසිය විසිදෙනෙක් ය.</verse>
				<verse number="6">මෙරාරීගේ ගෝත්‍රයෙන් ප්‍රධානියා වූ අසායා සහ ඔහුගේ සහෝදරයෝ දෙසිය විසිදෙනෙක් ය.</verse>
				<verse number="7">ගේර්ෂොම්ගේ ගෝත්‍රයෙන් ප්‍රධානියා වූ ජෝවෙල් සහ ඔහුගේ සහෝදරයෝ එකසිය තිස්දෙනෙක් ය.</verse>
				<verse number="8">එලිශාපාන්ගේ ගෝත්‍රයෙන් ප්‍රධානියා වූ ෂෙමායා සහ ඔහුගේ සහෝදරයෝ දෙසියදෙනෙක් ය.</verse>
				<verse number="9">හෙබ්‍රොන්ගේ ගෝත්‍රයෙන් ප්‍රධානියා වූ එලීයෙල් සහ ඔහුගේ සහෝදරයෝ අසූදෙනෙක් ය.</verse>
				<verse number="10">උශ්ශියෙල්ගේ ගෝත්‍රයෙන් ප්‍රධානියා වූ අම්මිනාදාබ් සහ ඔහුගේ සහෝදරයෝ එකසිය දොළොස්දෙනෙක් ය.</verse>
				<verse number="11">දාවිත් පූජකයන් වූ ශාදොක්ට සහ අබියාතර්ට ද ලෙවීවරුන් වූ උරියෙල්, ආසායා, ජෝවෙල්, ෂෙමායා, එලීයෙල් සහ අම්මිනාදාබ්ට ද අඬගසා ඔවුන්ට කතා කොට,</verse>
				<verse number="12">“ඔබ හැම ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ ය. ඔබත් ඔබේ සහෝදරයනුත් පවිත්‍ර වී, ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මා විසින් ඊට පිළියෙළ කරනු ලැබ තිබෙන ස්ථානයට ගෙනෙන්න.</verse>
				<verse number="13">පළමු වතාවේ දී එය ගෙනා අය ඔබ හැම නොවූ බැවින් අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට පහර දුන් සේක. මන්ද, නියෝගය ලෙස අපි උන් වහන්සේ නොසෙවුවෙමු”යි කීවේ ය.</verse>
				<verse number="14">පූජකයෝ ද ලෙවීවරු ද ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනෙන පිණිස පවිත්‍ර වුණෝ ය.</verse>
				<verse number="15">සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රකාර, මෝසෙස් විසින් අණ කරනු ලැබූ ලෙස, ලෙවීගේ පුත්‍රයෝ දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුවේ පොලු තමන්ගේ කරපිට තබාගෙන එය ගෙන ගියෝ ය.</verse>
				<verse number="16">තවද, දාවිත් කුඩා වීණා ද මහා වීණා ද අත්තල් ද යන තූර්ය භාණ්ඩවලින් ගායනා කරමින් ප්‍රීති හඬ පැවැත්වීමට තමන්ගේ සහෝදරයන් වූ ගායකයන් නියම කරන ලෙස ලෙවීවරුන්ගේ ප්‍රධානීන්ට කීවේ ය.</verse>
				<verse number="17">මෙසේ ලෙවීවරු ජෝවෙල්ගේ පුත් හේමන් ද ඔහුගේ සහෝදරයන්ගෙන් බෙරෙකියාගේ පුත් ආසාප් ද තමන්ගේ සහෝදරයන් වූ මෙරාරීගේ පුත්‍රයන්ගෙන් කුෂායාගේ පුත් ඒතාන් ද</verse>
				<verse number="18">ඔවුන් සමඟ දොරටු පාලකයන් කොට තමන්ගේ බාල සහෝදරයන් වන ශෙකරියා ද බෙන් ද ජයසීයෙල් ද ෂෙමිරාමොත් ද ජෙයීයෙල් ද උන්නී ද එලියාබ් ද බෙනායා ද මයසේයා ද මත්තිතියා ද එලීපෙලේහු ද මික්නේයා ද ඕබෙද්-ඒදොම් ද ජෙයීයෙල් ද පත් කළෝ ය.</verse>
				<verse number="19">හේමාන් ද ආසාප් ද ඒතාන් ද යන ගායනාකාරයෝ ලෝකඩ අත්තල්වලින් ශබ්ද කිරීමටත්,</verse>
				<verse number="20">ශෙකරියා ද අශීයෙල් ද ෂෙමිරාමොත් ද ජෙහියෙල් ද උන්නී ද එලියාබ් ද මයසේයා ද බෙනායා ද යන මොවුහු අලමොත් නම් කුඩා වීණාවලින් සිහින් ශබ්ද පැවැත්වීමටත්;</verse>
				<verse number="21">මත්තිතියා ද එලීපෙලේහු ද මික්නේයා ද ඕබෙද්-ඒදොම් ද ජෙයීයෙල් ද අශශියා ද ෂෙමිනිත් නම් මහා වීණාවලින් උච්චස්වර මහා ශබ්ද පැවැත්වීමටත් නියම කළෝ ය.</verse>
				<verse number="22">කෙනනියා ගායනා කිරීම ගැන ලෙවීවරුන්ගේ ප්‍රධානියා ව සිටියේ ය. ඔහු ඊට දක්ෂ ව සිටි බැවින් ගායනා කරන්නන්ට එය ඉගැන්නුවේ ය.</verse>
				<verse number="23">බෙරෙකියා ද එල්කානා ද ගිවිසුම් කරඬුව උදෙසා දොරටු පාලකයන් ව සිටියෝ ය.</verse>
				<verse number="24">පූජකයන් වූ ෂෙබනියා ද ජෝෂාපාට් ද නෙතනේල් ද අමාසයි ද ශෙකරියා ද බෙනායා ද එලියෙසෙර් ද දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව පෙරටුවෙන් නළා පිම්බෝ ය. ඕබෙද්-ඒදොම් ද ජෙහියා ද ගිවිසුම් කරඬුව උදෙසා දොරටු පාලකයන් ව සිටියෝ ය.</verse>
				<verse number="25">මෙසේ දාවිත් හා සියලු ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයෝ ද සහශ්‍රාධිපතීහු ද සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඕබෙද්-ඒදොම්ගේ ගෙදරින් ගෙනෙන පිණිස ප්‍රීතියෙන් ගියෝ ය.</verse>
				<verse number="26">තවද, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන යන ලෙවීවරුන්ට දෙවියන් වහන්සේ පිහිට වන බැවින් ඔව්හු ගොන් හත්දෙනෙකු ද බැටළුවන් හත්දෙනෙකු ද පූජා කළෝ ය.</verse>
				<verse number="27">දාවිත් ද ගිවිසුම් කරඬුව උසුලාගත් සියලු ලෙවීවරු ද ගායකයෝ ද ගායකයන් අතරේ ගායනා කිරීමට ප්‍රධානියා ව සිටි කෙනනියා ද සිහින් හණ සළු ඇඳගෙන සිටියහ. දාවිත් හණ ඒපොද් සැට්ටයක් පැළඳගෙන සිටියේ ය.</verse>
				<verse number="28">මෙසේ සියලු ඉශ්රායෙල්වරු ඔල්වර හඬත්, හොරණෑ ශබ්දයත් ඇති ව, නළාවලිනුත්, අත්තල්වලිනුත්, වීණාවලිනුත්, මහා වීණාවලිනුත් ශබ්ද පවත්වමින් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනාවෝ ය.</verse>
				<verse number="29">සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවරට පැමිණෙන විට, සාවුල්ගේ දුව වූ මීකල් කවුළුවෙන් බලා දාවිත් රජ ප්‍රීතියෙන් ප්‍රමුදිත ව නටනු දැක, ඈ සිතින් ඔහු හෙළා දැක්කා ය.</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">ඔවුහු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනවුත්, දාවිත් ඒ සඳහා පිහිටුවා තිබුණු කූඩාරම තුළ එය තබා, දවන යාග පූජාවල් ද සහභාගිකමේ පූජාවල් ද දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඔප්පු කළෝ ය.</verse>
				<verse number="2">දාවිත් දවන යාග පූජාව ද සහභාගිකමේ පූජා ද ඔප්පු කර නිම වූ විට, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් සෙනඟට ආශීර්වාද කෙළේ ය.</verse>
				<verse number="3">තවද, ඔහු ඉශ්රායෙල්වරුන් සියල්ලන්ගෙන් එක එක පුරුෂයාටත්, ස්ත්‍රියටත් රොටියක් ද මස් කෑල්ලක් ද වියළි මුද්‍රික පල කැටියක් ද බැගින් දුන්නේ ය.</verse>
				<verse number="4">තවද, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සේවය කිරීමටත්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වර්ණනා කිරීමටත්, උන් වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමටත් ඔහු ලෙවීවරුන්ගෙන් සමහරෙකු නියම කෙළේ ය.</verse>
				<verse number="5">ඒ අයගේ ප්‍රධානියා ආසාප් ය. ඔහු ළඟට ශෙකරියා, ජෙයීයෙල්, ෂෙමිරාමොත්, ජෙහියෙල්, මත්තිතියා, එලියාබ්, බෙනායා, ඕබෙද්-ඒදොම් සහ ජෙයීයෙල් ය. මොවුහු වීණාවලින් ද මහා වීණාවලින් ද ගායනා කළහ. එහෙත්, ආසාප් අත්තල්වලින් ශබ්ද පැවැත්වී ය.</verse>
				<verse number="6">පූජකයන් වූ බෙනායා ද ජහසියෙල් ද දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි නිතර ම නළා පිම්බෝ ය.</verse>
				<verse number="7">දාවිත් ආසාප් ද ඔහුගේ සහෝදරයන් ද ලවා සමිඳාණන් වහන්සේට ස්තුති කරවීමට පළමුවෙන් නියම කෙළේ ඒ දවසේ දී ය.</verse>
				<verse number="8">සමිඳුන්ට තුති පුදන්න; එතුමන් නම කියා අයැදින්න; ජාතීන් අතරේ එතුමන්ගේ ක්‍රියා පළ කරන්න.</verse>
				<verse number="9">එතුමන්ට ගී ගයන්න; එතුමන්ට පසස් ගී ගයන්න; එතුමන්ගේ පුදුම ක්‍රියා මෙනෙහි කරන්න.</verse>
				<verse number="10">එතුමන්ගේ ශුද්ධ නාමය ගැන උදම් අනන්න. සමිඳුන් සොයන්නන්ගේ සිත් ප්‍රීති ප්‍රමුදිත වේ වා!</verse>
				<verse number="11">සමිඳුන් ද එතුමන්ගේ බලය ද සොයා බලන්න; එතුමන්ගේ හමු වීම නිතර ම සොයන්න.</verse>
				<verse number="12">එතුමන්ගේ මෙහෙකරු වන ඉශ්රායෙල් වංශයෙනි, එතුමන් විසින් තෝරාගනු ලැබූ තැනැත්තන් වන ජාකොබ් දරුවෙනි,</verse>
				<verse number="13">එතුමන් කළ පුදුම ක්‍රියා ද එතුමන්ගේ ආශ්චර්යයන් ද එතුමන් දුන් විනිශ්චයයන් ද සිහි කරන්න.</verse>
				<verse number="14">එතුමාණෝ අපේ දෙවි සමිඳාණෝ ය. එතුමන්ගේ ආණ්ඩු බලය මුළු පොළොවෙහි තිබේ.</verse>
				<verse number="15">එතුමන්ගේ ගිවිසුම සදහටත්, එතුමන් අණ කළ වචනය පරම්පරා දහසක් දක්වාත් සිහි කරන්න.</verse>
				<verse number="16">
					ඒ ගිවිසුම එතුමාණෝ ආබ්‍රහම් සමඟ කළ සේක;
					ඊසාක්ට ද දිවුරුම් දුන් සේක.
				</verse>
				<verse number="17">
					එතුමාණෝ එය ජාකොබ්ට පණතක් ද ඉශ්රායෙල්ට සදාකාල ගිවිසුමක් ද කොට ස්ථිර කරමින්,
				</verse>
				<verse number="18">“නුඹලාගේ උරුම කොටස කොට කානාන් දේශය නුඹලාට දෙන්නෙමි.</verse>
				<verse number="19">නුඹලා ගණනින් ස්වල්ප දෙනෙකු වී, ඉතා ස්වල්ප දෙනෙකු වී එහි විදේශීන් වී සිටින්නහු ය”යි වදාළ සේක.</verse>
				<verse number="20">ඔව්හු, ජාතියකින් ජාතියකට ද රාජ්‍යයකින් රාජ්‍යයකට ද ගියෝ ය.</verse>
				<verse number="21">
					ඔවුන්ට තාඩන පීඩන කරන්න කිසි ම මිනිසෙකුට එතුමාණෝ ඉඩ නුදුන් සේක.
					එසේ ය, එතුමාණෝ ඔවුන් නිසා රජුන්ට තරවටු කොට,
				</verse>
				<verse number="22">“මාගේ අබිසෙස් ලත් අයට අත නොගසන්න; මාගේ දිවැසිවරුන්ට අනතුරු නොකරන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="23">පොළෝ වැසි සියල්ලෙනි, සමිඳුන්ට ගී ගයන්න. එතුමන්ගෙන් ලැබෙන ගැළවීම දිනෙන් දින ප්‍රකාශ කරන්න.</verse>
				<verse number="24">ජාතීන් අතරෙහි එතුමන්ගේ මහිමය ද සියලු ජාතීන් අතරෙහි එතුමන්ගේ ක්‍රියා ද පතළ කරන්න.</verse>
				<verse number="25">මන්ද, සමිඳාණෝ උතුම් ය; අතිශයින් පැසසිය යුතු ය. සියලු දෙවිවරුන්ට වඩා එතුමන්ට ගරුබිය පෑ යුතු ය.</verse>
				<verse number="26">මන්ද, ජනයන්ගේ සියලු දෙවිවරු පිළිම පමණකි; සමිඳාණෝ ම අහස් මඬල සෑදූ සේක.</verse>
				<verse number="27">ගෞරවය ද තේජස ද එතුමන් ඉදිරියෙහි පවත්නේ ය; ශක්තිය ද ප්‍රීතිය ද එතුමන්ගේ මැදුරෙහි ඇත්තේ ය.</verse>
				<verse number="28">ජනයෙනි, සමිඳුන් පසසන්න; ගෞරවය ද බලය ද සමිඳුන් හට පිරිනමන්න.</verse>
				<verse number="29">සමිඳුන් නමට හිමි ගෞරවය පිරිනමන්න; පඬුරක් රැගෙන එතුමන් ඉදිරියට එන්න; ශුද්ධ මළුවෙහි සමිඳුන් නමදින්න.</verse>
				<verse number="30">පොළෝ වැසි සියල්ලෙනි, එතුමන් අබිමුව බියෙන් ඇලළී සිටින්න; එතුමාණෝ නොසැලෙන ලෙස තිරසාර ව ලොව සෑදූ සේක.</verse>
				<verse number="31">ස්වර්ගයෝ සන්තෝෂ වෙත් වා! පොළොව ද ප්‍රීති වේ වා! “සමිඳාණෝ රජකම් කරන සේකැ”යි ජාතීන් අතරේ කියත් වා!</verse>
				<verse number="32">මුහුදත්, එහි ඇති සියල්ලත් ගිගුරුම් හඬ දේ වා! කෙත්වතු සහ එහි ඇති සියල්ල ප්‍රීතිමත් වේ වා!</verse>
				<verse number="33">වනයේ ගස් කොළන් සමිඳුන් අබිමුව ප්‍රීතියෙන් ගී ගයා වා! මන්ද, එතුමාණෝ පොළොව පාලනය කරන පිණිස වඩින සේක.</verse>
				<verse number="34">
					සමිඳුන් හට තුති පුදන්න;
					මන්ද, එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ ස්ථිරසාර ප්‍රේමය සදහට ම පවත්නේ ය.
				</verse>
				<verse number="35">“අපේ ගැළවුම්කාර දෙවිඳාණෝ, එතුමන්ගේ ශුද්ධ නාමයට තුති කරන පිණිසත්, එතුමන්ගේ ප්‍රශංසා ගැන ජයඝෝෂා පවත්වන පිණිසත්, අප ගළවා, ජාතීන් අතරෙන් අප රැස් කොට, අප නිදහස් කරන සේකැ”යි කියන්න.</verse>
				<verse number="36">ඉශ්රායෙල් දෙවි සමිඳුන් හට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා වේ වා! මුළු සෙනඟ ද, “ආමෙන්” කියා සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කළෝ ය.</verse>
				<verse number="37">ඉක්බිති සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි නිතර ම එක එක දවසට සුදුසු ලෙස සේවය කිරීමට දාවිත් රජ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි ආසාප් ද ඔහුගේ සහෝදරයන් ද</verse>
				<verse number="38">ඕබෙද්-ඒදොම් ද ඔවුන්ගේ සහෝදරයන් හැටඅටදෙනෙකු ද සිටෙව්වේ ය. ජෙදුතුන්ගේ පුත් ඕබෙද්-ඒදොම් ද හෝසා ද දොරටු පාලයන් කොට නියම කෙළේ ය.</verse>
				<verse number="39">පූජක ශාදොක් ද පූජකයන් වන ඔහුගේ සහෝදරයන් ද ගිබියොන්හි ගිරිකුළක තිබෙන සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි සිටින්න නියම කෙළේ ය.</verse>
				<verse number="40">එසේ කෙළේ, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ට අණ කළා වූ උන් වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන සියල්ල ප්‍රකාරයට දවන යාග පූජා පුදන පූජාසනය පිට නිතර ම උදය සවස දවන යාග පූජා සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිස ය.</verse>
				<verse number="41">ඔවුන් සමඟ හේමන් ද ජෙදුතුන් ද නම් කියා තෝරාගනු ලැබූ අනික් අය ද, “සමිඳාණන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය” කියමින් උන් වහන්සේට ස්තුති කිරීමට නියම කෙළේ ය.</verse>
				<verse number="42">ඔවුන් සමඟ හේමන් ද ජෙදුතුන් ද පත් කෙළේ, දෙවියන් වහන්සේට ගී ගයමින් නළාවලිනුත්, අත්තල්වලිනුත්, තූර්ය භාණ්ඩවලිනුත් ශබ්ද කිරීමට ය. තවද, දාවිත් රජ ජෙදුතුන්ගේ පුත්‍රයන් දොරටු පාලකයන් කොට පත් කෙළේ ය.</verse>
				<verse number="43">පසු ව මුළු සෙනඟ තම තමන්ගේ ගෙවලට ගියෝ ය. දාවිත් තමාගේ ගෙදර වැසියන්ට ආශීර්වාද කරන පිණිස හැරී ගියේ ය.</verse>
			</chapter>
			<chapter number="17">
				<verse number="1">තවද, දාවිත් තමාගේ ගෙදර වසන කල්හි දිවැසිවරයා වන නාතාන්ට කතා කොට, “මෙන්න, මම කිහිරි ලී ගෙයක වාසය කරමි. එහෙත්, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කූඩාරමක වියනක් යට තිබේ ය”යි කීවේ ය.</verse>
				<verse number="2">නාතාන් ද කතා කොට, “ඔබේ සිතේ තිබෙන සියල්ල කළ මැනව. මන්ද, දෙවියන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේකැ”යි දාවිත්ට කී ය.</verse>
				<verse number="3">එහෙත්, එම රාත්‍රියේ ම දෙවියන් වහන්සේගේ වචනය නාතාන්ට පැමිණ කියනුයේ,</verse>
				<verse number="4">“නුඹ ගොස්, ‘සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ’යි මාගේ මෙහෙකරු වූ දාවිත්ට කියන්න; ‘මාගේ වාසය පිණිස නුඹ මාලිගාවක් ගොඩ නොනඟන්නෙහි ය.</verse>
				<verse number="5">මන්ද, මම ඉශ්රායෙල්වරුන් ගෙනා දවස පටන් අද දක්වා මාලිගාවක වාසය නොකොට, කූඩාරමෙන් කූඩාරමට ද මණ්ඩපයෙන් මණ්ඩපයට ද යමින් හැසුරුණෙමි.</verse>
				<verse number="6">මාගේ සෙනඟ පාලනය කරන්න මා විසින් අණ කරන ලද ඉශ්රායෙල් වීර නායකයන්ගෙන් යමෙකුට කතා කොට, නුඹලා මට කිහිරි ලී මාලිගාවක් ගොඩනොනැඟුවේ මක්නිසා ද යන වචනයක් සියලු ඉශ්රායෙල්වරුන් අතරෙහි මා ආ ගිය කොයි ස්ථානයක දී වත් කීවෙම් ද?’</verse>
				<verse number="7">“එබැවින් මාගේ මෙහෙකරු වන දාවිත්ට මෙසේ කියන්න; ‘සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේක: මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා නුඹ වන පිණිස තණ බිමෙන් ද බැටළුවන් රැකබලාගැනීමෙන් ද මම නුඹ වෙන් කොට ගතිමි.</verse>
				<verse number="8">නුඹ ගිය හැම තැන්හි ම මම නුඹ සමඟ සිට, නුඹේ සියලු සතුරන් නුඹ ඉදිරියෙන් පන්නා දැමීමි; පොළොවේ සිටින උත්තමයන්ගේ යසෝ කීර්තිය වැනි යසෝ කීර්තියක් නුඹට දෙන්නෙමි.</verse>
				<verse number="9">මාගේ සෙනඟ වන ඉශ්රායෙල් තමන්ගේ ම දේශයෙහි වාසය කොට, මතු එයින් නොයන ලෙස මම ඔවුන්ට දේශයක් නියම කොට ඔවුන් පිහිටුවන්නෙමි; තවද, මුල දී සිදු වූ පරිදි</verse>
				<verse number="10">එනම්, මා විසින් මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ට වීර නායකයන් පත් කරන ලද කාලයේ සිදු වූ පරිදි දුෂ්ට මනුෂ්‍යයෝ තවත් ඔවුන් නාස්ති නොකරන්නෝ ය. මම නුඹේ සියලු සතුරන් යටත් කරන්නෙමි. ඇරත්, සමිඳාණන් වහන්සේ නුඹට වංශයක් ගොඩනඟන බව නුඹට දන්වමි,</verse>
				<verse number="11">නුඹේ දවස් සම්පූර්ණ වූ කල, මම නුඹේ පුත්‍රයෙකු වන නුඹේ ම දරුවෙකු නුඹට පසු ව පිහිටුවා ඔහුගේ රාජ්‍යය ස්ථිර කරන්නෙමි.</verse>
				<verse number="12">ඔහු මට මාලිගාවක් ගොඩනඟන්නේ ය. ඔහුගේ සිංහාසනය ද මම සදහට ම ස්ථිර කරන්නෙමි.</verse>
				<verse number="13">මම ඔහුට පියෙක් වන්නෙමි. ඔහු ද මට පුත්‍රයෙක් වන්නේ ය. නුඹට පළමු සිටි තැනැත්තාගෙන් මාගේ කරුණාව පහ කළ ලෙස මම ඔහුගෙන් එය පහ නොකර,</verse>
				<verse number="14">මාගේ මාලිගාවෙහි ද මාගේ රාජ්‍යයෙහි ද ඔහු සදහට ම පිහිටුවන්නෙමි. ඔහුගේ සිංහාසනය ද සදහට ම ස්ථිර කරනු ලබන්නේ ය’ “යි වදාළ සේක.</verse>
				<verse number="15">මේ සියලු වචන ද මේ මුළු ප්‍රකාශනය ද නාතාන් දාවිත්ට දැන්වී ය.</verse>
				<verse number="16">එවිට දාවිත් රජු කූඩාරම ඇතුළට ගොස්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි වාඩි වී මෙසේ කීවේ ය: “දෙවි සමිඳාණන් වහන්ස, ඔබ විසින් මෙපමණ දුරට මා ගෙන එනු ලැබීමට මම කවරෙක් ද? මාගේ වංශය කුමක් ද?</verse>
				<verse number="17">එහෙත්, දෙවියන් වහන්ස, මෙය ද ඔබේ ඇස් හමුයෙහි සුළු දෙයක් වූ ලෙස තකා, මතු කාලයට ඔබේ මෙහෙකරුවාගේ වංශය ගැන ඔබ කතා කොට, දෙවි සමිඳාණන් වහන්ස, උත්තම මනුෂ්‍යයෙකු හැටියට ඔබ මා සැලකූ සේක.</verse>
				<verse number="18">ඔබේ මෙහෙකරුවාට පෙන්වූ ගෞරවය ගැන දාවිත් ඔබට තවත් කුමක් කියන්න ද? මන්ද, ඔබ වහන්සේ ඔබේ මෙහෙකරුවා දන්න සේක.</verse>
				<verse number="19">සමිඳාණන් වහන්ස, ඔබේ සිතේ හැටියට ඔබේ මෙහෙකරුවා උදෙසා ඔබ මේ මහා දේ කර, ඉදිරියට වන්න යන දේ ඔබ දන්න සේක.</verse>
				<verse number="20">සමිඳාණන් වහන්ස, අපේ කන්වලින් අප ඇසූ සියල්ල ලෙස ඔබට සමාන කෙනෙක් නැත. ඔබ වහන්සේ හැර වෙන කිසි දෙවි කෙනෙක් ද නැත.</verse>
				<verse number="21">ඔබේ ඉශ්රායෙල් සෙනඟට සමාන ව සිටින්නේ පොළොවේ කවර ජාතිය ද? මන්ද, දෙවියන් වහන්සේ තමන්ට සෙනඟක් කොට ඔවුන් මුදා ගනු පිණිස ගොස්, මිසරයෙන් මුදා ගත් ඔබේ සෙනඟ ඉදිරියෙහි ජාතීන් එළවා දමා, මහත් වූ භයානක වූ දේවල් කිරීමෙන් ඔබට කීර්තිය හිමි කරගත් සේක.</verse>
				<verse number="22">මෙසේ ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් සදහට ම ඔබට සෙනඟක් කොට තබාගෙන, ඔබ ම, සමිඳාණන් වහන්ස, ඔවුන්ගේ දෙවියන් වහන්සේ වී සිටින සේක.</verse>
				<verse number="23">“දැන් ඉතින් සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකරුවාත්, ඔහුගේ වංශයත් ගැන ඔබ කී වචනය සදහට ම ස්ථිර වේ වා! ඔබ කී ලෙස ම කළ මැනව.</verse>
				<verse number="24">ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ වන සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ, ඉශ්රායෙල්වරුන් සඳහා වූ දෙවියන් වහන්සේ ය. මෙසේ, ඔබේ නාමය සදහට ම උතුම් වේ වා! ඔබේ මෙහෙකරු වන දාවිත්ගේ වංශය ද ඔබ ඉදිරියෙහි ස්ථිර ව පවතින්නේ ය.</verse>
				<verse number="25">මන්ද, මාගේ දෙවියන් වහන්ස, ඔබේ මෙහෙකරුවා උදෙසා ඔබ වංශයක් ගොඩනඟන බව ඔබ ඔහුට එළිදරව් කළ සේක. එබැවින් ඔබ ඉදිරියෙහි යාච්ඤා කරන්න ඔබේ මෙහෙකරුවා ඉදිරිපත් විය.</verse>
				<verse number="26">දැනුදු, සමිඳාණන් වහන්ස, ඔබ ම දෙවියන් වහන්සේ ය, ඔබේ මෙහෙකරුවාට මේ යහපත් දේ පොරොන්දු වූ සේක.</verse>
				<verse number="27">එසේ ඔබේ මෙහෙකරුවාගේ වංශය සදහට ම ඔබ ඉදිරියෙහි පවතින පිණිස ඊට ආශීර්වාද කරන්න ඔබ ප්‍රසන්න වුව මැනව. මන්ද, සමිඳාණන් වහන්ස, ඔබ වහන්සේ ආශීර්වාද කළ අය සදහට ම ආශීර්වාද ලද්දෝ වෙති.”</verse>
			</chapter>
			<chapter number="18">
				<verse number="1">මින්පසු දාවිත් පිලිස්තිවරුන්ට පහර දී ඔවුන් යටත් කරගෙන, ගාත් ද ඊට අයිති නගර ද පිලිස්තිවරුන්ගේ අතින් පැහැර ගත්තේ ය.</verse>
				<verse number="2">ඔහු මෝවබ්වරුන්ටත් පහර දුන්නේ ය. මෝවබ්වරු දාවිත්ට මෙහෙකරුවන් වී කප්පම් ගෙනා හ.</verse>
				<verse number="3">තවද, ශෝබාහි රජු වූ හදද්-එශෙර් යුප්‍රටීස් ගඟ අද්දර ප්‍රදේශයෙහි තම බලය පිහිටුවන්න යද්දී, දාවිත් හමාත් දක්වා ඔහුට පහර දී,</verse>
				<verse number="4">රථ දහසක් ද අසරුවන් සත්දහසක් ද පා බළ සෙනඟ විසිදහසක් ද ඔහුගෙන් අල්ලාගෙන, රථ-අශ්වයන් සියයක් ඉතුරු කරගෙන, අනික් සියලු අශ්වයන්ගේ කුදි කපා අබලම් කෙළේ ය.</verse>
				<verse number="5">දමස්කයේ සිරියන්වරු ශෝබාහි රජ වූ හදද්-එශෙර්ට උපකාර කරන්න ආවෝ ය. එවිට දාවිත් සිරියන්වරුන්ගෙන් මනුෂ්‍යයන් විසිදෙදහසකට පහර දී,</verse>
				<verse number="6">දමස්කයේ සිරියාවෙහි මුර හමුදාවල් තැබුවේ ය. සිරියන්වරු දාවිත්ට මෙහෙකරුවන් වී කප්පම් ගෙනාවෝ ය. දාවිත් ගිය ගිය තැන සමිඳාණන් වහන්සේ ඔහුට ජය අත්කර දුන් සේක.</verse>
				<verse number="7">දාවිත් හදද්-එශෙර්ගේ සේවකයන්ට තිබූ රන් පලිස් රැගෙන ඒවා ජෙරුසලමට ගෙනාවේ ය.</verse>
				<verse number="8">තිබ්හත් ද කුන් ද යන හදද්-එශෙර්ගේ නගරවලින් දාවිත් බොහෝ ලෝකඩ ගත්තේ ය. එයින් සලමොන් ලෝකඩ තටාකයත්, කුළුනුත්, ලෝකඩ භාජනත් සෑදී ය.</verse>
				<verse number="9">දාවිත් ශෝබාහි රජ වූ හදද්-එශෙර්ගේ මුළු සේනාවට පහර දුන් බව හමාත්හි රජ වූ තොයු අසා,</verse>
				<verse number="10">දාවිත් එසේ හදද්-එශෙර්ට විරුද්ධ ව සටන් කොට ඔහුට පහර දුන් බැවින්, දාවිත්ට ආචාර කරන්නටත්, ඔහුට ආශීර්වාද කරන්නටත් ඔහු වෙත තමාගේ පුත් හදෝරාම් සහ සියලු ආකාර රන් රිදී ලෝකඩ බඩුත් එවී ය. මන්ද, හදද්-එශෙර් සහ තොයු අතරේ යුද්ධ තිබිණි.</verse>
				<verse number="11">ඒ බඩුත් දාවිත් රජු සියලු ජාතීන්ගෙන් එනම්, ඒදොම්වරුන්ගෙන් ද මෝවබ්වරුන්ගෙන් ද අම්මොන්වරුන්ගෙන් ද පිලිස්තිවරුන්ගෙන් ද අමලෙක්වරුන්ගෙන් ද ගත් රන් රිදී සමඟ සමිඳාණන් වහන්සේට කැප කෙළේ ය.</verse>
				<verse number="12">ඇරත්, ශෙරුයාගේ පුත් අබිෂයි ලුණු මිටියාවතේ දී ඒදොම්වරුන්ගෙන් දහඅටදහසකට පහර දුන්නේ ය.</verse>
				<verse number="13">ඔහු ඒදොම්හි මුර හමුදාවල් තැබී ය. සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවෝ වූ හ. දාවිත් ගිය ගිය තැන සමිඳාණන් වහන්සේ ඔහුට ජය අත් කර දුන් සේක.</verse>
				<verse number="14">දාවිත් මුළු ඉශ්රායෙල් ජාතිය පාලනය කරමින් තමාගේ මුළු සෙනඟට සාධාරණකම ද යුක්තිය ද ඉෂ්ට කෙළේ ය.</verse>
				<verse number="15">ශෙරුයාගේ පුත් ජෝවාබ් සේනාධිපතියා ව සිටියේ ය. අහිලුද්ගේ පුත් ජෙහෝෂාපාට් වාර්තාකරු ව සිටියේ ය.</verse>
				<verse number="16">අහිතුබ්ගේ පුත් ශාදොක් සහ අබියාතර්ගේ පුත් අබිමෙලෙක් පූජකයන් ව සිටියෝ ය. ෂව්ෂා ලේකම් ව සිටියේ ය.</verse>
				<verse number="17">ජෙහෝයාදාගේ පුත් බෙනායා කෙරෙතිවරුන්ටත්, පෙලෙතිවරුන්ටත් ප්‍රධානියා ව සිටියේ ය. දාවිත්ගේ පුත්‍රයෝ ද රාජ සේවයේ ප්‍රධානියන් ව සිටියහ.</verse>
			</chapter>
			<chapter number="19">
				<verse number="1">ඉක්බිති අම්මොන්වරුන්ගේ රජ වූ නාහාෂ් මළේ ය. ඔහුගේ පුත්‍රයා වූ හානුන් ඔහු වෙනුවට රජ විය.</verse>
				<verse number="2">දාවිත් වනාහි, “හානුන්ගේ පියා වූ නාහාෂ් මට කරුණාව පෙන් වූ නිසා මමත් හානුන්ට කරුණාව පෙන්වන්නෙමි”යි ඔහුගේ පියාගේ මරණය ගැන ඔහු සනසන පිණිස දූතයන් යැවී ය. දාවිත්ගේ සේවකයෝ හානුන් සනසන්න අම්මොන්වරුන්ගේ දේශයට ඔහු වෙත පැමිණියෝ ය.</verse>
				<verse number="3">එවිට අම්මොන්වරුන්ගේ අධිපතීහු හානුන්ට කතා කොට, “දාවිත් ඔබ ළඟට ඔබ සනසන පිණිස දූතයන් එවූ නිසා, ඔහු ඔබේ පියාට ගෞරව කරන්නේ යයි ඔබ සිතන්නෙහි ද? ඔහුගේ සේවකයන් ඔබ වෙත ආවේ, දේශය පරීක්ෂා කර, ඔත්තු බලා, එය නාස්ති කරන අදහසින් නොවේ දැ”යි කීවෝ ය.</verse>
				<verse number="4">එවිට හානුන් දාවිත්ගේ සේවකයන් අල්ලා, ඔවුන්ගේ රැවුල් බූගා, දණ හිසෙන් ඉහළට ඔවුන්ගේ ඇඳුම් මැදින් කපා දමා ඔවුන් යන්න හැරියේ ය.</verse>
				<verse number="5">මිනිස්සු අවුත් ඒ මනුෂ්‍යයන් ගැන දාවිත්ට දැන්නූ හ. ඔහු ද ඔවුන් සම්බවන්න මිනිසුන් යැවී ය. මන්ද, ඒ මනුෂ්‍යයන් බොහෝ සෙයින් ලජ්ජාවට පත් වී සිටි බැවිනි. රජතුමා කතා කොට, “ඔබේ රැවුල් වැඩෙන කල් ජෙරිකෝවෙහි නැවතී පසු ව එන්නැ”යි කියා යැවී ය.</verse>
				<verse number="6">තවද, දාවිත් තමන්ගේ සතුරෙකු වී සිටින බව දුටු හානුන් රජ ද අම්මොන්වරු ද උතුරු මෙසොපොතේමියාවෙනුත් මයකා සහ ශෝබායෙහි සිරියන්වරුන්ගෙනුත් රථ සහ අසරුවන් කුලියට ගන්න රිදී කිලෝග්‍රෑම් තිස්හතරදහසක් යැවූ හ.</verse>
				<verse number="7">මෙසේ ඔව්හු රථ තිස්දෙදහසක් ද මයකාහි රජු ද ඔහුගේ සෙනඟ ද කුලියට ගත්තෝ ය. ඔව්හු අවුත් මෙදිබා ඉදිරිපිට කඳවුරු බැඳගත්හ. අම්මොන්වරුත් තමන්ගේ නගරවලින් පිටත් ව එහි රැස් වී සටනට ආවෝ ය.</verse>
				<verse number="8">දාවිත් ඒ අසා ජෝවාබ් ද බලවන්තයන් සමඟ මුළු සේනාව ද යැවී ය.</verse>
				<verse number="9">අම්මොන්වරු ද පිටතට අවුත් නගර දොරටුව ළඟ සටනට පෙළ ගැසී සිටියෝ ය. එහෙත්, පැමිණි රජවරු එළිමහනෙහි ඈත් වී සිටියෝ ය.</verse>
				<verse number="10">තමාට විරුද්ධ ව ඉදිරියෙන් ද පස්සෙන් ද සටනට එන බව ජෝවාබ් දැක, සියලු බලවන්ත ඉශ්රායෙල්වරුන්ගෙන් කොටසක් තෝරාගෙන සිරියන්වරුන්ට විරුද්ධ ව සිටුවා,</verse>
				<verse number="11">ඉතිරි සෙනඟ අම්මොන්වරුන්ට විරුද්ධ ව සිටින පිණිස තමාගේ සහෝදර අබිෂයි අතට භාර දුන්නේ ය.</verse>
				<verse number="12">තවද, ඔහු කතා කොට, “සිරියන්වරුන් මට වඩා බලවත් වුණොත් ඔබ මට උපකාර කරන්න. අම්මොන්වරුන් ඔබට වඩා බලවත් වුණොත් මම ඔබට උපකාර කරන්නෙමි.</verse>
				<verse number="13">ධෛර්යවත් ව සිටින්න. අපේ සෙනඟ උදෙසාත්, අපේ දෙවියන් වහන්සේගේ නගර උදෙසාත් ස්ථිර ව ක්‍රියා කරන්න. සමිඳාණන් වහන්සේ තමන්ට යහපත් ව පෙනෙන ලෙස කරන සේක්වා”යි කීවේ ය.</verse>
				<verse number="14">මෙසේ ජෝවාබ් ද ඔහු සමඟ සිටි සෙනඟ ද සිරියන්වරුන්ට විරුද්ධ ව සටනට ළං වූ හ. එවිට ඔව්හු ඔහු ඉදිරියෙන් පලා ගියෝ ය.</verse>
				<verse number="15">සිරියන්වරුන් පලා ගිය බව අම්මොන්වරුන් දුටු විට, ඔව්හු ද ඔහුගේ සහෝදර අබිෂයි ඉදිරියෙන් පලා ගොස් නගරයට ඇතුළු වූ හ. එවිට ජෝවාබ් ජෙරුසලමට ආයේ ය.</verse>
				<verse number="16">සිරියන්වරු තමන් ඉශ්රායෙල්වරුන් අතින් පරාජය වූ බව දැක දූතයන් යවා යුප්‍රටීස් ගංගාවට එගොඩින් සිටි සිරියන්වරුන් ගෙන්වාගත්හ. හදද්-එශෙර්ගේ සේනාපතියා වූ ෂෝපාක් ඔවුන්ට පෙරටු ව ආවේ ය.</verse>
				<verse number="17">එපවත් දාවිත්ට දැන් වූ කල ඔහු සියලු ඉශ්රායෙල්වරුන් රැස් කරගෙන, ජොර්දානෙන් එගොඩ වී ඔවුන් ළඟට අවුත්, ඔවුන්ට විරුද්ධ ව යුද්ධයට පෙළ ගැසී සිටියේ ය. එසේ දාවිත් සිරියන්වරුන්ට විරුද්ධ ව යුද්ධයට පෙළ ගැසී සිටි විට, ඔව්හු ඔහුට විරුද්ධ ව සටන් කළෝ ය.</verse>
				<verse number="18">එහෙත්, ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් සිරියන්වරු පලා ගියෝ ය. දාවිත් සිරියන්වරුන්ගෙන් රථ සත්දහසක මිනිසුන් ද පා බළ සේනාවෙන් සතළිස්දහසක් ද මරා දමා, සේනාපතියා වූ ෂෝපාක් ද මැරුවේ ය.</verse>
				<verse number="19">හදද්-එශෙර්ගේ සේවකයෝ තමන් ඉශ්රායෙල්වරුන්ට පරාජය වූ බව දැක, දාවිත් සමඟ සාමදාන වී ඔහුට මෙහෙකළෝ ය. ඉන්පසු සිරියන්වරු අම්මොන්වරුන්ට තවත් උපකාර කරන්න කැමැති නොවූ හ.</verse>
			</chapter>
			<chapter number="20">
				<verse number="1">තවද, ඊළඟ අවුරුද්දේ රජවරුන් සටනට පිටත් ව යන කාලය පැමිණි විට, ජෝවාබ් යුද්ධ සේනාව ගෙන ගොස් අම්මොන්වරුන්ගේ රට පාළු කොට, රබ්බා නුවරට අවුත් එය වටලාගත්තේ ය. එහෙත්, දාවිත් ජෙරුසලමෙහි නැවතී සිටියේ ය. ජෝවාබ් රබ්බාට පහර දී එය නාස්ති කෙළේ ය.</verse>
				<verse number="2">දාවිත් ඔවුන්ගේ රජුගේ රන් ඔටුන්න මිල්කොම් රජුගේ හිසින් පැහැර ගෙන එය කිලෝග්‍රෑම් තිස්හතරක් බර ඇති බව දැනගත්තේ ය. එහි අනර්ඝ මැණික් ද තිබුණේ ය. එය දාවිත්ගේ හිස පිට තබන ලද්දේ ය. ඔහු ද කොල්ලකාගත් බඩු රාශියක් නුවරින් පිටතට ගෙනාවේ ය.</verse>
				<verse number="3">ඔහු එහි සිටි සෙනඟ පිටතට ගෙන්වා කියත් ද යකඩ දැති පෝරු ද පොරෝ ද ඔවුන්ට දී ඔවුන්ගෙන් වැඩ ගත්තේ ය. ඔහු අම්මොන්වරුන්ගේ සියලු නුවරවලට මෙසේ කෙළේ ය. ඉන්පසු දාවිත් ද මුළු සෙනඟ ද ජෙරුසලමට හැරී ආවෝ ය.</verse>
				<verse number="4">ඉන්පසු පිලිස්තිවරුන් සමඟ ගෙශෙර්හි යුද්ධයක් හට ගත්තේ ය. එකල හුෂාතිය සිබ්බෙකයි තෙමේ යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ සිප්පයි මැරුවේ ය. පිල්සිතිවරු යටත් කරනු ලැබුවෝ ය.</verse>
				<verse number="5">නැවතත් පිලිස්තිවරුන් සමඟ යුද්ධයක් විය. ජායිර්ගේ පුත් එල්හානාන් ගිත්තීය ජාතික ගොලියත්ගේ සහෝදර වූ ලහමි මැරුවේ ය. ඔහුගේ හෙල්ලයේ මිට වියන යන්ත්‍රයක දණ්ඩකට සමාන විය.</verse>
				<verse number="6">නැවතත් ගාත්හි යුද්ධයක් විය. එහි ඉතා උස මහත ඇති මනුෂ්‍යයෙක් විය. ඔහුට අත් පා ඇඟිලි හය හය බැගින් ඇඟිලි විසිහතරක් තිබුණේ ය. ඔහු ද යෝධයාට දාව උපන් කෙනෙකි.</verse>
				<verse number="7">ඔහු ඉශ්රායෙල්වරුන්ට විරෝධය දැක්වූ කල දාවිත්ගේ සහෝදරයා වන ෂිමියාගේ පුත් ජොනතන් ඔහු මැරුවේ ය.</verse>
				<verse number="8">මොවුහු ගාත්හි දී යෝධයන්ට දාව උපන් අය ය. ඔව්හු දාවිත් අතින් ද ඔහුගේ සේවකයන් අතින් ද පැරදී මියගියෝ ය.</verse>
			</chapter>
			<chapter number="21">
				<verse number="1">එවිට සාතන් ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව නැඟිට ඔවුන් සංගණනය කරන්න දාවිත් පෙළඹ වී ය.</verse>
				<verse number="2">දාවිත් ජෝවාබ්ටත්, සෙනඟගේ අධිපතීන්ටත් කතා කොට, “මට සෙනඟගේ ගණන දැනගන්න පිණිස ඔබ ගොස් බෙයර්-ෂෙබා පටන් දාන් දක්වා ඔවුන් ගණන් කර ඔවුන්ගේ සංබ්‍යාව මට දන්වන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="3">ජෝවාබ් කතා කොට, “දැන් සිටින පමණට වඩා සමිඳාණන් වහන්සේ තමන්ගේ සෙනඟ සිය ගුණයක් වැඩි කරන සේක්වා. එහෙත්, මාගේ ස්වාමීන් වන රජතුමනි, ඔව්හු සියල්ලෝ ම මාගේ ස්වාමියාගේ සේවකයෝ නොවෙත් ද? මාගේ ස්වාමියා මෙය අණ කර ඉශ්රායෙල්වරුන් පිට වරද පමුණුවන්නේ කුමක් නිසා දැ”යි ඇසී ය.</verse>
				<verse number="4">එහෙත්, ජෝවාබ්ගේ වචනය නොව රජුගේ වචනය ස්ථිර විය. ඒ නිසා ජෝවාබ් පිටත් වී මුළු ඉශ්රායෙල් දේශයෙහි ඇවිද,</verse>
				<verse number="5">ජෙරුසලමට අවුත්, ගණන් ගත් සෙනඟගේ මුළු සංබ්‍යාව දාවිත්ට දුන්නේ ය. කඩුව පාවිච්චි කිරීමට සමත් ඉශ්රායෙල්වරු සියල්ලෝ එකොළොස්ලක්ෂයක් ය. කඩුව පාවිච්චි කිරීමට සමත් ජුදාහි මනුෂ්‍යයෝ හාරලක්ෂ සැත්තෑදහසක් ය.</verse>
				<verse number="6">එහෙත්, රජුගේ වචනය ජෝවාබ් ට පිළිකුල් ව තිබුණු නිසා ඔහු ලෙවීවරුන් ද බෙන්ජමින්වරුන් ද ඔවුන් අතරේ ගණන් කෙළේ නැත.</verse>
				<verse number="7">දෙවියන් වහන්සේ මේ කාරණය ගැන අප්‍රසන්න වී ඉශ්රායෙල්වරුන්ට පහර දුන් සේක.</verse>
				<verse number="8">දාවිත් දෙවියන් වහන්සේට කතා කොට, “මම මේ දේ කිරීමෙන් බොහෝ සේ පව් කෙළෙමි. එහෙත්, දැන් ඔබේ මෙහෙකරුවාගේ අපරාධය පහකළ මැනව. මන්ද, මම බොහෝ අනුවණ ලෙස ක්‍රියා කෙළෙමි”යි කීවේ ය.</verse>
				<verse number="9">සමිඳාණන් වහන්සේ දාවිත්ගේ දර්ශකයා වූ ගාද්ට කතා කොට,</verse>
				<verse number="10">“නුඹ ගොස්, මෙය කියන්න, ‘මම කාරණා තුනක් නුඹ ඉදිරියේ තබමි. මා විසින් නුඹට කරනු ලබනු පිණිස එයින් එකක් තෝරාගන්නැ’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක කියා දාවිත්ට කියන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="11">ගාද් දාවිත් ළඟට අවුත් ඔහුට කතා කොට,</verse>
				<verse number="12">“ ‘තුන් අවුරුදු සාගතයක් හෝ තුන් මාසයක් නුඹේ එදිරිකාරයන්ගේ කඩුවට නුඹ අසු වී, නුඹේ සතුරන් අතින් විනාශ වීම හෝ තුන් දවසක් සමිඳාණන් වහන්සේගේ කඩුව වන වසංගතය දේශයට පැමිණ උන් වහන්සේගේ දූතයා විසින් ඉශ්රායෙල් පළාත් මුළුල්ල විනාශ කරනු ලැබීම හෝ යන තුනෙන් එකක් තෝරාගන්නැ’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. ඒ නිසා මා එවූ තැනැන් වහන්සේට මා මොන උත්තරයක් දෙන්න ද කියා කල්පනා කරන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="13">දාවිත් උත්තර දෙමින්, “මම ලොකු ප්‍රශ්නයකට මූණ පා සිටිමි. ඉතින් සමිඳාණන් වහන්සේගේ අතට අසු වන්නෙමි. මන්ද, උන් වහන්සේගේ අනුකම්පාව ඉමහත් ය. මනුෂ්‍යයාගේ අතට අසු වන්න මට සිද්ධ නොවේවා”යි ගාද්ට කීවේ ය.</verse>
				<verse number="14">එබැවින් සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් අතරට වසංගතයක් එවූ සේක. එයින් ඉශ්රායෙල්වරුන්ගෙන් සැත්තෑදහසක් මනුෂ්‍යයෝ මළෝ ය.</verse>
				<verse number="15">දෙවියන් වහන්සේ ජෙරුසලම විනාශ කරන්න දූතයෙකු යැවූ සේක. ඔහු එය විනාශ කරන්න යන විට සමිඳාණන් වහන්සේ බලා ඒ විපත ගැන තැවී, විනාශකාර දූතයාට කතා කොට, “ඉතින් ඇත. නුඹේ අත නවත්වන්නැ”යි වදාළ සේක. සමිඳාණන් වහන්සේගේ දූතයා ජෙබුසි ජාතික ඔර්ණාන්ගේ කමත ළඟ සිටියේ ය.</verse>
				<verse number="16">දාවිත් තමාගේ හිස ඔසවා සමිඳාණන් වහන්සේගේ දූතයා තමාගේ කඩුව ඇද ජෙරුසලම් කෙරෙහි දිගු කරගෙන පොළොවටත් අහසටත් අතරේ සිටිනු දුටුවේ ය. එවිට ගෝණි රෙදි ඇඳගෙන සිටි දාවිත් ද ප්‍රජා මූලිකයෝ ද මුණින්තළා වැටුණෝ ය.</verse>
				<verse number="17">දාවිත් දෙවියන් වහන්සේට කතා කොට, “සෙනඟ ගණන් කරන්න අණ කළ තැනැත්තා මම නොවෙම් ද? පව් කොට ඉතා දුෂ්ට ලෙස ක්‍රියා කෙළේ මම ය. එහෙත්, මේ බැටළුවෝ කුමක් කළෝ ද? අනේ! මාගේ දෙවි සමිඳාණන් වහන්ස, පහර දීම පිණිස ඔබේ හස්තය ඔබේ සෙනඟ පිට නොව මා පිටත්, මාගේ පිය වංශය පිටත් පැමිණේවා”යි කීවේ ය.</verse>
				<verse number="18">එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ගාද්ට කතා කොට, “ජෙබුසිය ඔර්ණාන්ගේ කමතේ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනඟන පිණිස නැඟී යන ලෙස දාවිත්ට කියන්නැ”යි අණ කෙළේ ය.</verse>
				<verse number="19">දාවිත් සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ගාද් කී වචනය ලෙස නැඟිට ගියේ ය.</verse>
				<verse number="20">තිරිඟු මඩිමින් සිටි ඔර්ණාන් පස්සට හැරී දූතයා දැක ඔහු ද ඔහු සමඟ සිටි ඔහුගේ පුත්‍රයෝ සතරදෙනා ද සැඟවුණෝ ය.</verse>
				<verse number="21">දාවිත් ඔර්ණාන් ළඟට ගියේ ය. ඔර්ණාන් බලා දාවිත් දැක, කමතෙන් පිටතට අවුත් මුණින්තළා වී දාවිත්ට වැන්දේ ය.</verse>
				<verse number="22">එවිට දාවිත් කතා කොට, “සෙනඟ අතරෙන් වසංගතය පහවන පිණිස සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනැඟීමට කමතේ ඉඩම මට දෙන්න. එහි මුළු වටිනාකම අනුව එය මට දෙන්න ඕනෑ ය”යි ඔර්ණාන්ට කීවේ ය.</verse>
				<verse number="23">ඔර්ණාන් පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීන් වන රජ තුමාණෝ එය පිළිගෙන තමන්ට හොඳ යයි හිතෙන දේ කරත්වා. මෙන්න, දවන යාග පූජාවලට ගවයන් ද දර සඳහා මඩින උපකරණ ද ආහාර පූජාවට තිරිඟු ද දෙමි; ඒ සියල්ල ම දෙමි”යි දාවිත්ට කීවේ ය.</verse>
				<verse number="24">දාවිත් රජ ද පිළිතුරු දෙමින්, “එසේ නොවේ, එහි මුළු වටිනාකම අනුව එය මම ඔබෙන් ගන්නෙමි. මන්ද, ඔබට අයිති දේ මම සමිඳාණන් වහන්සේ උදෙසා නොගන්නෙමි. වියදමක් නැති ව දවන යාග පූජා නොපුදන්නෙමි”යි ඔර්ණාන්ට කීවේ ය.</verse>
				<verse number="25">මෙසේ දාවිත් ඒ ඉඩමට රන් කාසි හයසියයක බර රන්, ඔර්ණාන්ට දුන්නේ ය.</verse>
				<verse number="26">දාවිත් සමිඳාණන් වහන්සේට පූජාසනයක් එහි ගොඩනඟා, දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කොට, සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. උන් වහන්සේ ද දවන පූජාසනය පිට අහසෙන් ගිනි එවා ඔහුට උත්තර දුන් සේක.</verse>
				<verse number="27">තවද, සමිඳාණන් වහන්සේ දේව දූතයාට අණ කළ විට, ඔහු තමාගේ කඩුව නැවත කොපුවේ දමාගත්තේ ය.</verse>
				<verse number="28">ඒ කාලයෙහි සමිඳාණන් වහන්සේ ජෙබුසිය ඔර්ණාන්ගේ කමතේ දී තමාට උත්තර දුන් බව දාවිත් දැක එහි දී පූජා ඔප්පු කෙළේ ය.</verse>
				<verse number="29">මන්ද, මෝසෙස් පාළුකරයේ දී සෑදූ සමිඳාණන් වහන්සේගේ මණ්ඩපයත්, දවන පූජාසනයත් ඒ කාලයෙහි ගිබියොන්හි ගිරිකුළක තිබුණේ ය.</verse>
				<verse number="30">එහෙත්, සමිඳාණන් වහන්සේගේ දූතයාගේ කඩුවට බිය වූ නිසා දෙවියන් වහන්සේගෙන් විචාරණ පිණිස එය ඉදිරියට යන්න දාවිත්ට නොහැකි විය.</verse>
			</chapter>
			<chapter number="22">
				<verse number="1">එවිට දාවිත් කතා කොට, “දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාව මේ ය; ඉශ්රායෙල්වරුන්ගේ දවන යාග පූජා ඔප්පු කරන පූජාසනය ද මේ ය”යි කීවේ ය.</verse>
				<verse number="2">තවද, දාවිත් ඉශ්රායෙල් දේශයෙහි සිටි සියලු විදේශීන් රැස් කරන්න අණ කොට, දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන පිණිස හතරැස් හැඩේට ගල් කපන්න ගල් වඩුවන් පත් කෙළේ ය.</verse>
				<verse number="3">දොරටුවල ඇණ පිණිසත්, සන්ධි පිණිසත් දාවිත් යකඩ රාශියක් සූදානම් කෙළේ ය. කිරන්න බැරි තරම් බොහෝ ලෝකඩත්, ගණන් නැති කිහිරි ලීත් සූදානම් කෙළේ ය.</verse>
				<verse number="4">මන්ද, සීදොන්වරු ද තීර්වරු ද කිහිරි ලී බොහෝ සෙයින් දාවිත් ළඟට ගෙනා හ.</verse>
				<verse number="5">එවිට දාවිත් කතා කොට, “මාගේ පුත් සලමොන් ළා බාල ය; සමිඳාණන් වහන්සේට ගොඩනඟන්න තිබෙන මාලිගාවේ කීර්තිය ද තේජස ද සියලු රටවලට පතළ වී යන හැටියට එය අතිශයින් අලංකාර ව තිබිය යුතු ය. එබැවින් මම ඒ කාර්යය පිණිස ඔහු සූදානම් කරන්නෙමි”යි කී ය. මෙසේ දාවිත් තමාගේ මරණයට පළමුවෙන් බොහෝ දේ සූදානම් කෙළේ ය.</verse>
				<verse number="6">එවිට ඔහු තම පුත් සලමොන් කැඳවා ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට මාලිගාවක් ගොඩනඟන පිණිස ඔහුට අණ කෙළේ ය.</verse>
				<verse number="7">දාවිත් තමාගේ පුත් සලමොන්ට කතා කොට, “මාගේ පුත්‍රය, දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්න මම අදහස් කෙළෙමි.</verse>
				<verse number="8">එහෙත්, සමිඳාණන් වහන්සේ මට පණිවුඩයක් ප්‍රකාශ කරමින්, ‘නුඹ බොහෝ සේ ලේ වැගිරීමත්, මහා යුද්ධත් කෙළෙහි ය. එලෙස නුඹ මා ඉදිරියෙහි බොහෝ ලේ බිම වැගිරෙවූ නිසා මාගේ නාමයට මාලිගාවක් ගොඩ නොනඟන්නෙහි ය.</verse>
				<verse number="9">එහෙත්, නුඹට උපදින පුත්‍රයෙක් සාමකාමී මනුෂ්‍යයෙක් වන්නේ ය. හාත්පසින් ම ඔහුගේ සියලු සතුරන්ගෙන් ඔහුට නිදහස දෙන්නෙමි. එසේ ය, ඔහුගේ නාමය සාමය යන අර්ථය ඇති සලමොන් වන්නේ ය. ඔහුගේ දවස්වල දී ඉශ්රායෙල්වරුන්ට සාමය ද සමඟිය ද දෙන්නෙමි.</verse>
				<verse number="10">ඔහු ම මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟනු ඇත. ඔහු මට පුත්‍රයෙක් වන්නේ ය. මම ඔහුට පියෙක් වන්නෙමි. ඔහුගේ රාජ සිංහාසනය ඉශ්රායෙල්වරුන් කෙරෙහි සදහට ම ස්ථිර කරන්නෙමි’යි වදාළ සේක.</verse>
				<verse number="11">“ඉතින් මාගේ පුත්‍රය, ඔබ සඵල වී, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ ගැන වදාළ ලෙස උන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන පිණිස උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක් වා!</verse>
				<verse number="12">එසේය, ඔබ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥා රක්ෂා කරන පිණිස ඔබට නැණනුවණ සහ බුද්ධි මහිමය දී, ඉශ්රායෙල්වරුන් ගැන වගකීමක් ඔබට දෙන සේක් වා!</verse>
				<verse number="13">සමිඳාණන් වහන්සේ මෝසෙස් ලවා ඉශ්රායෙල්වරුන්ට අණ කරවූ පණත් හා විනිශ්චයයන් පිළිපදින්නට වග බලාගත්තොත් ඔබ සඵල වන්නෙහි ය. ශක්තිමත් ව, ස්ථිර ව සිටින්න. බිය නොවන්න; තැති නොගන්න.</verse>
				<verse number="14">මෙන්න, මා දිළිඳු වුව ද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට රන් මෙට්රික් ටොන් තුන්දාස් හාරසියයකුත්, රිදී මෙට්රික් ටොන් තිස්හතරදහසකුත් ගණන් නැති තරම් ලෝකඩත්, යකඩත් සූදානම් කෙළෙමි. ඒවා අතිශයින් වැඩි ය. ඒ ඇර ලී ද ගල් ද සූදානම් කෙළෙමි. ඒවාට තව එකතු කරන්න ඔබට පුළුවන.</verse>
				<verse number="15">තවද, ශිල්පීන් වන ගල්වඩුවෝ ද ගල් හා ලී වැඩ කරන්නෝ ද සියලු ආකාර වැඩවලට සියලු ආකාර ප්‍රඥාවන්තයෝ ද බොහෝ දෙනෙක් ම ඔබට සිටිති.</verse>
				<verse number="16">ගණන් නැති තරම් රන් ද රිදී ද ලෝකඩ ද යකඩ ද තිබේ. නැඟිට වැඩ පටන් ගන්න. සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක්වා”යි කී ය.</verse>
				<verse number="17">තවද, දාවිත් තමාගේ පුත් සලමොන්ට උපකාර කරන පිණිස ඉශ්රායෙල්හි සියලු අධිපතීන්ට අණ කරමින්,</verse>
				<verse number="18">“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ සිටිනු නොවේ ද? හැම අතින් ම උන් වහන්සේ ඔබට සාමය දී තිබෙනු නොවේ ද? මන්ද, උන් වහන්සේ දේශයේ වැසියන් මා අතට පාවා දී තිබේ. දේශය සමිඳාණන් වහන්සේට ද උන් වහන්සේගේ සෙනඟට ද යටත් කරන ලද්දේ ය.</verse>
				<verse number="19">ඉතින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ සොයන්න ඔබේ සිතත්, බුද්ධියත් යොමු කරන්න. සමිඳාණන් වහන්සේගේ නාමයට ගොඩනඟන්න තිබෙන මාලිගාව තුළට උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද දෙවියන් වහන්සේගේ ශුද්ධ භාණ්ඩ ද ගෙන යන පිණිස නැඟිට දෙවි සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානය ගොඩනඟන්නැ”යි කීවේ ය.</verse>
			</chapter>
			<chapter number="23">
				<verse number="1">දාවිත් දිගායු වළඳා මහලු වූ විට තමාගේ පුත් සලමොන් ඉශ්රයෙල්වරුන්ගේ රජ කොට පත් කෙළේ ය.</verse>
				<verse number="2">තවද, දාවිත් ඉශ්රායෙල්වරුන්ගේ සියලු අධිපතීන් ද පූජකයන් ද ලෙවීවරුන් ද රැස් කෙළේ ය.</verse>
				<verse number="3">ලෙවීවරුන්ගෙන් ගණන් ගන්නා ලද්දේ, තිස් අවුරුද්දක පටන් ඉන් ඉහළට වයස් ඇති අය ය. එසේ එක් කෙනෙකු එක් කෙනෙකු පාසා ගණන් ගන්න ලද පුරුෂයන්ගේ ගණන තිස්අටදහසක් විය.</verse>
				<verse number="4">මොවුන්ගෙන් විසිහතරදහසක් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වැඩ බලා ගැනීමට සිටියෝ ය. හයදහසක් මුලාදෑනියෝ ද විනිශ්චයකාරයෝ ද වූ හ.</verse>
				<verse number="5">හාරදහසක් දොරටු පාලකයෝ වූ හ. ‘ප්‍රශංසා කිරීමට මම සෑදුවෙමි’යි දාවිත් කී තූර්ය භාණ්ඩවලින් සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්නෝ හාරදහසක් වූ හ.</verse>
				<verse number="6">දාවිත් ගේර්ෂොන් ද කොහාත් ද මෙරාරී ද යන ලෙවීගේ පුත්‍රයන්ගේ වංශවල හැටියට ඔවුන් පංතිවලට බෙදුවේ ය.</verse>
				<verse number="7">ගේර්ෂොන්ගේ පුත්‍රයෝ ලාදාන් සහ ෂිමෙයි ය.</verse>
				<verse number="8">ලාදාන්ගේ පුත්‍රයෝ නම්: ප්‍රධානියා වූ ජෙහීයෙල් ද සේතාම් ද ජෝවෙල් ද යන තුන්දෙනා ය.</verse>
				<verse number="9">ෂිමෙයිගේ පුත්‍රයෝ නම්: ෂෙලොමිත් ද හශීයෙල් ද හාරාන් ද යන තුන්දෙනා ය. මොවුහු ලාදාන්ගේ පිය පෙළපත්වල ප්‍රධානියෝ ය.</verse>
				<verse number="10">ෂිමෙයිගේ පුත්‍රයෝ නම්: ජහත්, ශීනා, ජෙවුෂ් සහ බෙරියා ය. මේ හතර දෙන ෂිමෙයිගේ පුත්‍රයෝ ය.</verse>
				<verse number="11">ජහත් ප්‍රධානියා ය, ශීනා දෙවැනියා ය. එහෙත්, ජෙවුෂ්ටත්, බෙරියාටත් බොහෝ පුත්‍රයෝ නුවූ හ. එබැවින් ඔව්හු එක පිය පෙළපතක් කොට ගණන්ගනු ලැබුවෝ ය.</verse>
				<verse number="12">කොහාත්ගේ පුත්‍රයෝ නම්: අම්රාම් ද ඉශ්හාර් ද හෙබ්‍රොන් ද උශ්ශියෙල් ද යන සතරදෙනා ය.</verse>
				<verse number="13">අම්රාම්ගේ පුත්‍රයෝ නම්: ආරොන් සහ මෝසෙස් ය. ආරොන් ද ඔහුගේ පුත්‍රයෝ ද ඉතා ශුද්ධ දේ කැප කරන පිණිසත්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පු කරන පිණිසත්, උන් වහන්සේට සේවය කරන පිණිසත්, සෑම කල්හි ම උන් වහන්සේගේ නාමයෙන් ආශීර්වාද කරන පිණිසත්, හැම කලට ම වෙන් කරනු ලැබුවෝ ය.</verse>
				<verse number="14">එහෙත්, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන මෝසෙස්ගේ පුත්‍රයෝ ලෙවී ගෝත්‍රයට අයිති යයි ගණන් ගන්නා ලද්දෝ ය.</verse>
				<verse number="15">මෝසෙස්ගේ පුත්‍රයෝ නම්: ගේර්ෂොම් සහ එලියෙසෙර් ය.</verse>
				<verse number="16">ගේර්ෂොම්ගේ පුත්‍රයෝ නම්; ප්‍රධානියා වූ ෂෙබුයෙල් ය.</verse>
				<verse number="17">එලියෙසෙර්ගේ පුත්‍රයෝ: ප්‍රධානියා වූ රෙහෙබියා ය. එලියෙසෙර්ට වෙන පුත්‍රයෝ නුවූ හ. එහෙත්, රෙහෙබියාට පුත්‍රයෝ බොහෝ දෙනෙක් සිටියෝ ය.</verse>
				<verse number="18">ඉශ්හාර්ගේ පුත්‍රයෝ: ප්‍රධානියා වූ ෂෙලොමිත් ය;</verse>
				<verse number="19">හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ: ප්‍රධානියා වූ ජෙරියා ය, දෙවැනියා වූ අමරියා ය; තුන්වැනියා වූ ජහසියෙල් ය; හතරවැනියා වූ ජෙකමෙයාම් ය.</verse>
				<verse number="20">උශ්ශියෙල්ගේ පුත්‍රයෝ: ප්‍රධානියා වූ මීකා ය; දෙවැනියා වූ ඉෂ්ෂියා ය.</verse>
				<verse number="21">මෙරාරීගේ පුත්‍රයෝ: මාලී සහ මුෂී ය. මාලීගේ පුත්‍රයෝ: එලෙයාසර් සහ කිෂ් ය.</verse>
				<verse number="22">එලෙයාසර් මළේ ය. ඔහුට දූවරුන් මිස පුත්‍රයෝ නොසිටියෝ ය. ඒ තැනැත්තියන්ගේ සහෝදරයන් වූ කිෂ්ගේ පුත්‍රයෝ ඔවුන් පාවාගත්තෝ ය.</verse>
				<verse number="23">මුෂීගේ පුත්‍රයෝ: මාලී ද ඒදෙර් ද ජෙරිමොත් ද යන තුන්දෙනා ය.</verse>
				<verse number="24">ඔව්හු තමන්ගේ පිය පෙළපත්වල හැටියට, පිය පෙළපත්වල ප්‍රධානියන් වන විසි අවුරුදු වයසේ පටන් ඉන් ඉහළට එක් කෙනෙකු එක් කෙනෙකු පාසා නම් වශයෙන් ගණන් කරන ලද්දා වූ, සමිඳාණන් වහන්සේගේ මාලිගා සේවයේ වැඩ කළා වූ ලෙවීගේ පුත්‍රයෝ ය.</verse>
				<verse number="25">තවද, දාවිත් කතා කොට, “ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ සෙනඟට සාමදානය දී තිබේ ය”යි ද, “උන් වහන්සේ ජෙරුසලමෙහි සෑම කල්හි ම වාසය කරන සේකැ”යි ද,</verse>
				<verse number="26">“මණ්ඩපය සහ එහි සේවයට අයිති සියලු භාණ්ඩත් ලෙවීවරුන්ට තවත් උසුලා ගෙන යන්න වන්නේ නැතැ”යි ද කීවේ ය.</verse>
				<verse number="27">දාවිත්ගේ අන්තිම වචනවල හැටියට විසි අවුරුද්ද පටන් ඉන් ඉහළට වයස් ඇති පුත්‍රයෝ ගණන් ගන්න ලද්දෝ ය.</verse>
				<verse number="28">මන්ද, ඔවුන්ගේ තනතුර නම්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සේවය සම්බන්ධයෙන් ආරොන්ගේ පුත්‍රයන්ට උපකාර කිරීම ය. එනම්, මළුව, ඇතුල් ගෙවල් සහ සියලු ශුද්ධ දේවල් පවිත්‍ර කිරීමත්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවයේ වැඩ ද පිදීමේ රොටි ද</verse>
				<verse number="29">ආහාර පූජාවටත්, මුහුන් නැති රොටිවලටත් ඇතිළියටත්, පොඟවන ඒවාටත් ඕනෑ කරන සිහින් පිටි ද සියලු ආකාර මිමි ද මැනීම් ද බලාගැනීමත්,</verse>
				<verse number="30">දිනපතා උදේ සවස සමිඳාණන් වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට සිටීමත්,</verse>
				<verse number="31">සබත් දවස්වල දී ද අමාවක දවස්වල දී ද මංගල්‍යවල දී ද ගණනින් නියම ප්‍රකාරයට නිතර ම සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සියලු දවන යාග පූජා ඔප්පු කිරීමත්,</verse>
				<verse number="32">සම්මුඛ මණ්ඩපයේ වත්පිළිවෙත් ද ශුද්ධස්ථානයේ වත්පිළිවෙත් ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සේවය සම්බන්ධයෙන් තම සහෝදරයන් වූ ආරොන්ගේ පුත්‍රයන්ගේ වත්පිළිවෙත් ද බලාගැනීමත් ය.</verse>
			</chapter>
			<chapter number="24">
				<verse number="1">ආරොන්ගේ පුත්‍රයන්ගේ පංති මේ ය. ආරොන්ගේ පුත්‍රයෝ නම්: නාදාබ්, අබිහු, එලෙයාසර් සහ ඊතාමාර් ය.</verse>
				<verse number="2">නාදාබ් සහ අබිහු තමන්ගේ පියාට පළමුවෙන් මැරුණෝ ය. ඔවුන්ට පුත්‍රයෝ නොසිටියෝ ය. ඒ නිසා එලෙයාසර් සහ ඊතාමාර් පූජක තනතුරේ වැඩ කළෝ ය.</verse>
				<verse number="3">දාවිත් එලෙයාසර් පුත්‍රයන්ගෙන් ශාදොක් ද ඊතාමාර් පුත්‍රයන්ගෙන් අහිමෙලෙක් ද සමඟ ඔවුන්ගේ මෙහෙයේ නියමයේ ප්‍රකාරයට ඔවුන් සංවිධානය කෙළේ ය.</verse>
				<verse number="4">ඊතාමාර්ගේ පුත්‍රයන් අතරේ සිටි ප්‍රධාන මනුෂ්‍යයන්ගේ ගණනට වඩා එලෙයාසර්ගේ පුත්‍රයන් අතරේ සිටියෝ ය. එබැවින් මෙලෙස ඔව්හු සංවිධානය කරනු ලැබුවෝ ය. එලෙයාසර්ගේ පුත්‍රයන්ට පිය වංශවල ප්‍රධානීහු දහසයදෙනෙක් ද ඊතාමාර්ගේ පුත්‍රයන්ට ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානීහු අටදෙනෙක් ද සිටියෝ ය.</verse>
				<verse number="5">දෙගොල්ල ගැන ම එකට පස ඇට දමා සංවිධාන කෙළේ ය. මන්ද, ශුද්ධස්ථානයේ අධිපතියෝත්; දෙවියන් වහන්සේගේ අධිපතියෝත් එලෙයාසර්ගේ පුත්‍රයන් අතරේ සහ ඊතාමාර්ගේ පුත්‍රයන් අතරේත් වූ හ.</verse>
				<verse number="6">ලෙවී ජාතික වූ නෙතනේල්ගේ පුත් ෂෙමායා නම් ලේකම්, රජු ද අධිපතීන් ද ශාදොක් පූජකයා ද අබියාතර්ගේ පුත් අහිමෙලෙක් ද පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානීන් ද ඉදිරියෙහි ඔවුන්ගේ නාම වාර්තාගත කෙළේ ය. එලෙයාසර්ට එක පිය වංශයක් ද ඊතාමාර්ට එක පිය වංශයක් ද බැගින් පස ඇට දමා තෝරාගන්නා ලද්දේ ය.</verse>
				<verse number="7">පළමු වන පස ඇටය වැටුණේ ජෙහෝයාරීබ්ට ය; දෙ වන එක ජෙදායාට ය;</verse>
				<verse number="8">තුන් වන එක හාරීම්ට ය; හතර වැනි එක සෙයොරීම්ට ය;</verse>
				<verse number="9">පස් වැනි එක මල්කියාට ය; හය වැනි එක මියාමින්ට ය;</verse>
				<verse number="10">හත් වැනි එක හක්කොශ්ට ය; අට වැනි එක අබියාට ය;</verse>
				<verse number="11">නව වැනි එක ජේෂුවාට ය; දස වැනි එක ෂෙකනියාට ය;</verse>
				<verse number="12">එකොළොස් වැනි එක එලියාෂිබ්ට ය; දොළොස් වැනි එක ජාකීම්ට ය;</verse>
				<verse number="13">දහතුන් වැනි එක හුප්පාට ය; දසසතර වැනි එක ජෙෂෙබෙයාබ්ට ය;</verse>
				<verse number="14">පහළොස් වැනි එක බිල්ගාට ය; දහසය වැනි එක ඉම්මෙර්ට ය;</verse>
				<verse number="15">දහහත් වැනි එක හෙසීර්ට ය; දහඅට වැනි එක හප්පිශ්ශෙශ්ට ය;</verse>
				<verse number="16">දහනව වැනි එක පෙතහියාට ය; විසි වැනි එක ජෙහෙස්කෙල්ට ය;</verse>
				<verse number="17">විසිඑක් වැනි එක ජාකීන්ට ය; විසිදෙ වැනි එක ගාමුල්ට ය;</verse>
				<verse number="18">විසිතුන් වැනි එක දෙලායාට ය; විසිහතර වැනි එක මයශියාට ය.</verse>
				<verse number="19">ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ පිය වූ ආරොන්ට අණ කළ ප්‍රකාරයට ඔහු ලවා කරවූ නියෝගය ලෙස ඔවුන්ගේ යුතුකම් අනුව සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුල් වීමේ පිළිවෙළ මේ ය.</verse>
				<verse number="20">ලෙවීගේ අනික් පුත්‍රයෝ නම්: අම්රාම්ගේ පුත්‍රයන්ගෙන් ෂුබායෙල් ය. ෂුබායෙල්ගේ පුත්‍රයන්ගෙන් ජෙදෙයා ය.</verse>
				<verse number="21">රෙහෙබියාගෙන් එනම්, රෙහෙබියාගේ පුත්‍රයන්ගෙන් ප්‍රධානියා වූ ඉෂ්ෂියා ය.</verse>
				<verse number="22">ඉශ්හාරිවරුන්ගෙන් ෂෙලොමොත් ය. ෂෙලොමොත්ගේ පුත්‍රයන්ගෙන් ජහත් ය.</verse>
				<verse number="23">හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ නම්: ප්‍රධානියා වූ ජෙරියා ය; දෙවැනියා වූ අමරියා ය; තුන්වැනියා වූ ජහසියෙල් ය; සතරවැනියා වූ ජෙකමෙයාම් ය.</verse>
				<verse number="24">උශ්ශියෙල්ගේ පුත්‍රයන්ගෙන් මීකා ය. මීකාගේ පුත්‍රයන්ගෙන් ෂාමීර් ය.</verse>
				<verse number="25">මීකාගේ සහෝදරයා වූ ඉෂ්ෂියා ය. ඉෂ්ෂියාගේ පුත්‍රයන්ගෙන් ශෙකරියා ය.</verse>
				<verse number="26">මෙරාරීගේ පුත්‍රයෝ නම්: මාලී සහ මුෂී ය. ජාසියාගේ පුත්‍රයෝ නම්: බෙනෝ ය.</verse>
				<verse number="27">මෙරාරීගේ පුත්‍රයෝ නම්: තමාගේ පුත් ජාසියා නිසා උපන් බෙනෝ, ෂොහම්, ශක්කුර් සහ ඉබ්රී ය.</verse>
				<verse number="28">මාලී නිසා උපන් එලෙයාසර් ය. ඔහුට පුත්‍රයෝ නොවූ හ.</verse>
				<verse number="29">කිෂ්ගෙන් එනම්, කිෂ්ගේ පුත්‍රයන්ගෙන් ජෙරාමෙයෙල් ය.</verse>
				<verse number="30">මුෂීගේ පුත්‍රයෝ නම්: මාලී, ඒදෙර් සහ ජෙරීමොත් ය. ඔව්හු තමන්ගේ පිය වංශ ප්‍රකාරයට ලෙවීගේ පුත්‍රයෝ ය.</verse>
				<verse number="31">ඔව්හු ද තමන්ගේ සහෝදරයන් වන ආරොන්ගේ පුත්‍රයන් මෙන් ම දාවිත් රජු ද ශාදොක් ද අහිමෙලෙක් ද පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානීන් ද ඉදිරියෙහි පස ඇට දැමුවෝ ය. පිය වංශවල ප්‍රධානියා තමාගේ බාල සහෝදරයා මෙන් ම පස ඇට දැමුවේ ය.</verse>
			</chapter>
			<chapter number="25">
				<verse number="1">දාවිත් ද සේනාවේ අධිපතියෝ ද ආසාප්ගේත්, හේමන්ගේත්, ජෙදුතුන්ගේත් පුත්‍රයන්ගෙන් වීණා හා කුඩා වීණා ද අත්තල් ද නාද කොට ගායනා කරමින්, දෙවි සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රකාශ කිරීමේ සේවය සඳහා තැනැත්තන් වෙන් කර තැබී ය. තමන්ගේ සේවයේ වැඩය කළා වූ ඒ මනුෂ්‍යයන්ගේ නාම ලේඛනය මෙසේ ය:</verse>
				<verse number="2">ආසාප්ගේ පුත්‍රයන්ගෙන් ශක්කුර් ද ජෝසෙප් ද නෙතනියා ද අසිරේලා ද යන ආසාප්ගේ පුත්‍රයෝ ය. මොවුහු රජුගේ අණ ලෙස ධර්ම වාක්‍ය ගායනා කළා වූ ආසාප් යටතේ සිටියෝ ය.</verse>
				<verse number="3">ජෙදුතුන්ගේ පුත්‍රයන් වූ ගෙදලියා ද ශෙරී ද ජෙෂායා ද හෂබියා ද මත්තිතියා ද ඇතුළු හයදෙනා ය. මොවුහු මහා වීණා නාද කර සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රකාශ කරමින් ද, උන් වහන්සේට ස්තුති ප්‍රශංසා දෙමින් ද ජෙදුතුන් යටතේ සිටියෝ ය.</verse>
				<verse number="4">හේමාන්ගේ පුත්‍රයන් වූ බුක්කියා, මත්තනියා, උශ්ශියෙල්, ෂෙබුයෙල්, ජෙරිමොත්, හනනියා, හනානි, එලියාතා, ගිද්දල්තී, රොමම්ති-එසෙර්, ජොෂ්බෙකාෂා, මල්ලෝති, හෝතීර් සහ මහශියොත් ය.</verse>
				<verse number="5">ඔව්හු සියල්ලෝ දෙවියන් වහන්සේ කළ දේ ගැන රජුගේ දර්ශකයා ව සිටි, හොරණෑවෙන් නාද කළා වූ හේමන්ගේ පුත්‍රයෝ ය. දෙවියන් වහන්සේ හේමන්ට පුත්‍රයන් දහහතරදෙනෙකු ද දූවරුන් තුන්දෙනෙකු ද දුන් සේක.</verse>
				<verse number="6">මේ සියල්ලෝ දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවය පිණිස අත්තල් ද කුඩා වීණා ද මහා වීණා ද සහිත ව සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ගායනා කිරීමට තම පියා යටතේ සිටියෝ ය. ආසාප් ද ජෙදුතුන් ද හේමන් ද රජු යටතේ සිටියෝ ය.</verse>
				<verse number="7">සමිඳාණන් වහන්සේට ගැයීම ගැන ඉගෙනගෙන, දැනගැන්ම ඇති ව සිටි ඔවුන්ගේ සියලු සහෝදරයන් ඇතුළු ව ඔවුන්ගේ ගණන දෙසිය අසූඅටදෙනෙක් ය.</verse>
				<verse number="8">ඔව්හු ලොකු අය මෙන් කුඩා ම අය ද ගෝලයා මෙන් ම ගුරුවරයා ද තමන්ගේ මෙහෙය ගැන පස ඇට දැමුවෝ ය.</verse>
				<verse number="9">පළමු වන කොටස වැටුණේ ආසාප්ට අයිති ජෝසෙප්ට ය; දෙ වන එක ගෙදලියා ද ඔහුගේ සහෝදරයන් ද පුත්‍රයන් ද යන දොළොස්දෙනෙකුට ය;</verse>
				<verse number="10">තුන් වන එක ශක්කුර් ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය;</verse>
				<verse number="11">හතර වන එක ඉශ්රී ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය;</verse>
				<verse number="12">පස් වන එක නෙතනියා ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය;</verse>
				<verse number="13">හය වන එක බුක්කියා ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය;</verse>
				<verse number="14">හත් වන එක ජෙෂරේලා ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය;</verse>
				<verse number="15">අට වන එක ජෙෂායා ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය;</verse>
				<verse number="16">නව වන එක මත්තනියා ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය;</verse>
				<verse number="17">දහ වන එක ෂිමෙයි ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය;</verse>
				<verse number="18">එකොළොස් වන එක අශරියෙල් ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය;</verse>
				<verse number="19">දොළොස් වන එක හෂබියා ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය;</verse>
				<verse number="20">දහතුන් වන එක ෂුබායෙල් ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය;</verse>
				<verse number="21">දහහතර වන එක මත්තිතියා ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය;</verse>
				<verse number="22">පහළොස් වන එක ජෙරේමොත් ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය;</verse>
				<verse number="23">දහසය වන එක හනනියා ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය.</verse>
				<verse number="24">දහහත් වන එක ජොෂ්බෙකාෂා ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය;</verse>
				<verse number="25">දහඅට වන එක හනානි ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය;</verse>
				<verse number="26">දහනව වන එක මල්ලෝති ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය;</verse>
				<verse number="27">විසි වන එක එලියාතා ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය;</verse>
				<verse number="28">විසිඑක් වන එක හෝතීර් ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය;</verse>
				<verse number="29">විසිදෙ වන එක ගිද්දල්තී ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය;</verse>
				<verse number="30">විසිතුන් වන එක මහසියොත් ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය;</verse>
				<verse number="31">විසිහතර වන එක රොමම්ති-එසෙර් ද ඔහුගේ පුත්‍රයන් ද සහෝදරයන් ද යන දොළොස්දෙනෙකුට ය.</verse>
			</chapter>
			<chapter number="26">
				<verse number="1">දොරටු පාලකයන්ගේ පංති මෙසේ ය: කෝරාවරුන්ගෙන් ආසාප්ගේ පුත්‍රයෙකු වන කෝරේගේ පුත් මෙෂෙලෙමියා ය;</verse>
				<verse number="2">මෙෂෙලෙමියාගේ පුත්‍රයන් වන කුලුඳුලා වූ ශෙකරියා ය; දෙවැනියා වූ ජෙදීයයෙල් ය; තුන්වැනියා වූ සෙබදියා ය; හතරවැනියා වූ ජත්නියෙල් ය;</verse>
				<verse number="3">පස්වැනියා වූ ඒලාම් ය; හයවැනියා වූ ජෙහෝහානාන් ය; හත්වැනියා වූ එලියෙහෝයේනයි ය.</verse>
				<verse number="4">ඕබෙද්-ඒදොම්ගේ පුත්‍රයන් වන කුලුඳුලා වූ ෂෙමායා ය; දෙවැනියා වූ ජෙහෝශාබාද් ය; තුන්වැනියා වූ ජෝවා ය; හතරවැනියා වූ සාකාර් ය; පස්වැනියා වූ නෙතනේල් ය;</verse>
				<verse number="5">හයවැනියා වූ අම්මීයෙල් ය; හත්වැනියා වූ ඉස්සාකර් ය; අටවැනියා වූ පෙයුල්ලෙතයි ය. මන්ද, දෙවියන් වහන්සේ ඔහුට ආශීර්වාද කළ සේක.</verse>
				<verse number="6">ඔහුගේ පුත් ෂෙමායාට දාව පුත්‍රයෝ උපන්නෝ ය. ඔව්හු බලවන්ත මනුෂ්‍යයන් ව සිටි නිසා තමන්ගේ පිය වංශයෙහි ආණ්ඩුකාරයන් ව සිටියෝ ය.</verse>
				<verse number="7">ෂෙමායාගේ පුත්‍රයන් ඔත්නී, රෙපායෙල්, ඕබෙද් සහ එල්ශාබාද් ය. ඔහුගේ සහෝදරයන් වන බලවන්ත මනුෂ්‍යයන් එලීහු සහ සෙමාකියා ය.</verse>
				<verse number="8">මොවුහු සියල්ලෝ ඕබෙද්-ඒදොම්ගේ පුත්‍රයෝ ය. ඔව්හු ද ඔවුන්ගේ පුත්‍රයෝ ද සහෝදරයෝ ද සේවයට බලවන්ත ව, ශක්තිමත් ව සිටියෝ ය. මෙසේ ඕබෙද්-ඒදොම්ගේ හැටදෙදෙනෙක් සිටියෝ ය.</verse>
				<verse number="9">මෙෂෙලෙමියාට බලවන්තයන් වන පුත්‍රයෝ ද සහෝදරයෝ ද දහඅටදෙනෙක් වූවෝ ය.</verse>
				<verse number="10">මෙරාරීගේ පුත්‍රයෙකු වූ හෝසාගේ පුත්‍රයන් වන ප්‍රධානියා වූ ෂිම්රී ය. ඔහු කුලුඳුලා නොවන නමුත්, ඔහුගේ පියා ඔහු ප්‍රධානකමට පත් කෙළේ ය.</verse>
				<verse number="11">දෙවැනියා වූ හිල්කියා ය; තුන්වැනියා වූ ටෙබලියා ය; සතරවැනියා වූ ශෙකරියා ය; හෝසාගේ සියලු පුත්‍රයෝ හා සහෝදරයෝ දහතුන්දෙනෙක් ය.</verse>
				<verse number="12">සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි මෙහෙ කරන පිණිස තමන්ගේ සහෝදරයන් සමඟ මාරුවට සිටියා වූ ප්‍රධාන මනුෂ්‍යයන් වූ ඔවුන්ට දොරටු පාලකයන්ගේ පංති වැටුණේ ය.</verse>
				<verse number="13">ඔව්හු ද තමන්ගේ පිය වංශ ලෙස ලොකු අය මෙන් ම කුඩා අයත් එක එක දොරටුව ගැන පස ඇට දැමුවෝ ය.</verse>
				<verse number="14">නැගෙනහිර පැත්තේ පස ඇටය වැටුණේ ෂෙලෙමියාට ය. ඉන්පසු ඔහුගේ පුත් නැණවත් මන්ත්‍රීවරයෙකු වූ ශෙකරියා ගැන පස ඇට දැමුවෝ ය. ඔහුගේ පස ඇටය වැටුණේ උතුරු පැත්තට ය.</verse>
				<verse number="15">ඕබෙද්-ඒදොම්ට වැටුණේ දකුණු පැත්ත ය. ඔහුගේ පුත්‍රයන්ට වැටුණේ භාණ්ඩාගාරය ය.</verse>
				<verse number="16">බස්නාහිර පැත්තේ නඟින මාවතෙහි තිබෙන ෂල්ලෙකෙත් දොරටුව ෂුප්පීම්ටත්, හෝසාටත් වැටුණේ ය. දොරටු පාලකයෝ මාරුවෙන් මාරුවට සිටියෝ ය.</verse>
				<verse number="17">නැගෙනහිරට සිටියේ ලෙවීවරු හයදෙනෙක් ය; උතුරට දවසට සතරදෙනෙක් ය; දකුණට දවසට සතරදෙනෙක් ය; භාණ්ඩාගාරය ළඟ දෙදෙනා ය.</verse>
				<verse number="18">බස්නාහිරට බරාඳය ළඟ මාවතේ හතරදෙනෙක් ය; බරාඳයෙහි දෙදෙනෙක් ය.</verse>
				<verse number="19">කොරාගේ පුත්‍රයන්ගෙන් ද මෙරාරීගේ පුත්‍රයන්ගෙන් ද තෝරාගත් දොරටු පාලකයන්ගේ පංති මේවා ය.</verse>
				<verse number="20">අනික් ලෙවීවරුන්ගෙන් අහියා දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩා සහ කැප කළ දේවල ගබඩා කෙරෙහි පත් ව සිටියේ ය.</verse>
				<verse number="21">ලාදාන්ගේ වංශයේ ගේර්ෂොන්වරුන්ගේ පුත්‍රයන් වන ලාදාන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව සිටි ගේර්ෂොනිවය වූ ලාදාන්ගේ පුත්‍රයෝ නම්:</verse>
				<verse number="22">ජෙහියෙලී සහ ජෙහියෙලීගේ පුත්‍රයන් වූ සේතාම් සහ ඔහුගේ සහෝදර වූ ජෝවෙල් ය. ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩා කෙරෙහි පත් වී සිටියෝ ය.</verse>
				<verse number="23">අම්රාම්වරුත්, ඉෂ්හාර්වරුත්, හෙබ්‍රොන්වරුත්, උශ්ශියෙල්වරුත් වූවෝ ය.</verse>
				<verse number="24">මෝසෙස්ගේ පුත්‍රයා වන ගේර්ෂොම්ගේ පුත් ෂෙබුයෙල් ගබඩාවල ප්‍රධානියා ව සිටියේ ය.</verse>
				<verse number="25">එලියෙසර්ගෙන් පැවත ආ ඔහුගේ සහෝදරයෝත් සිටියෝ ය. ඔහුගේ පුත්‍රයා රෙහෙබියා ය; ඔහුගේ පුත්‍රයා ජෙෂායා ය; ඔහුගේ පුත්‍රයා ජෝරාම් ය; ඔහුගේ පුත්‍රයා ශික්රී ය; ඔහුගේ පුත්‍රයා ෂෙලොමොත් ය.</verse>
				<verse number="26">මෙම ෂෙලොමොත් සහ ඔහුගේ සහෝදරයෝ, දාවිත් රජු විසින් ද සහශ්‍රාධිපතීන් ව ශතාධිපතීන් ව සිටි පිය වංශවල ප්‍රධානීන් විසින් ද සේනාවේ අධිපතීන් විසින් ද කැප කරන ලද්දා වූ ශුද්ධ දේවල සියලු ගබඩා කෙරෙහි පත් ව සිටියෝ ය.</verse>
				<verse number="27">ඔව්හු යුද්ධවල දී ලබාගත් කොල්ලයෙන් කොටසක් සමිඳාණන් වහන්සේගේ මාලිගාව අලුත්වැඩියා කිරීම පිණිස කැප කළෝ ය.</verse>
				<verse number="28">දිවැසිවරයා වූ සාමුවෙල් ද කිෂ්ගේ පුත් සාවුල් ද නේර්ගේ පුත් අබ්නේර් ද ශෙරුයාගේ පුත් ජෝවාබ් ද විසින් කැප කරන ලද සියල්ලත්, කවුරුන් විසින් නමුත් කැප කරන ලද දේත් ෂෙලොමොත් සහ ඔහුගේ සහෝදරයන් යටතේ තිබුණේ ය.</verse>
				<verse number="29">ඉශ්හාර්වරුන්ගෙන් කෙනනියා ද ඔහුගේ පුත්‍රයෝ ද පරිපාලන කටයුතු ගැන ඉශ්රායෙල්වරුගේ මුලාදෑනියන් ව හා විනිශ්චයකාරයන් ව සිටියෝ ය.</verse>
				<verse number="30">හෙබ්‍රොන්වරුන්ගෙන් හෂබියා ද ඔහුගේ සහෝදරයෝ ද යන බලවන්තයෝ එක්දහස් හත්සියයක් බස්නාහිර දිශාවේ ජොර්දාන් ගඟින් මෙගොඩ සමිඳාණන් වහන්සේ සම්බන්ධ දේ ගැන ද රජුගේ වැඩ ගැන ද ඉශ්රායෙල්වරුන් පාලනය කිරීමට පත් ව සිටියෝ ය.</verse>
				<verse number="31">හෙබ්‍රොන්වරුන්ගේ පිය පෙළපත් ප්‍රකාර හෙබ්‍රොන්වරුන්ගේ ප්‍රධානියා නම් ජෙරියා ය. දාවිත්ගේ රජ කාලයෙහි සතළිස් වැනි අවුරුද්දේ දී ඔවුන් ගැන විභාග කොට බලවන්ත මනුෂ්‍යයෝ ගිලියද්-ජාශර්හි ඔවුන් අතරේ සිටිනු සම්බ වූ හ.</verse>
				<verse number="32">බලවන්තයන් ව පිය වංශවල ප්‍රධානියන් ව සිටි ඔහුගේ සහෝදරයෝ දෙදාස් සත්සියයක් වූ හ. දාවිත් රජ දෙවියන් වහන්සේ හා රජු සම්බන්ධ සියල්ල ගැන රූබන්වරුන් ද ගාද්වරුන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රය ද කෙරෙහි මුලාදෑනීන් කොට ඔවුන් පත් කෙළේ ය.</verse>
			</chapter>
			<chapter number="27">
				<verse number="1">අවුරුද්දේ සියලු මාසවල මාසයෙන් මාසයට තමන්ගේ නිල සේවාවන් මාරුවෙන් මාරුවට ඉටු කළා වූ ද පංතිවල සියලු කාරණා ගැන රජුට සේවය කළා වූ ද ඉශ්රායෙල්වරුන්ගේ පිය වංශවල ප්‍රධානීන්ගේත්, සහශ්‍රාධිපතීන්ගේත්, ශතාධිපතීන්ගේත්, ඔවුන්ගේ මුලාදෑනීන්ගේත් ගණන නම්, එක එක පංතියට විසිහතරදහසක් ය.</verse>
				<verse number="2">පළමු වැනි මාසයට පංතිය කෙරෙහි ශබ්දියෙල්ගේ පුත් ජාෂොබෙයාම් පත් ව සිටියේ ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.</verse>
				<verse number="3">ඔහු පෙරෙශ්වරුන්ගෙන් එක් කෙනෙකු ව පළමු වැනි මාසයේ සේනාවල සියලු අධිපතීන්ගේ ප්‍රධානියා ව සිටියේ ය.</verse>
				<verse number="4">දෙ වැනි මාසයට පංතිය කෙරෙහි අහෝහිය දෝදයි පත් ව සිටියේ ය. ඔහුගේ පංතියේ මුලාදෑනියා මික්ලොත් ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් ය.</verse>
				<verse number="5">තුන් වැනි මාසයට තුන් වැනි සේනාවේ අධිපතියා නම්, පූජක වූ ජෙහෝයාදාගේ පුත්‍රයා වන ප්‍රධානියා වූ බෙනායා ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.</verse>
				<verse number="6">බෙනායා වනාහි ඒ තිස්දෙනාගෙන් බලවන්තයා ව, තිස්දෙනා කෙරෙහි අධිපතියා ව සිටියේ ය. ඔහුගේ පුත් අම්මිසාබාද් ඔහුගේ පංතියේ සිටියේ ය.</verse>
				<verse number="7">හතර වැනි මාසයට හතර වැනි අධිපතියා නම්, ජෝවාබ්ගේ සහෝදර වූ අසාහෙල් ය. ඔහුට පසු ව ඔහුගේ පුත් සෙබදියා ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.</verse>
				<verse number="8">පස් වැනි මාසයට පස් වැනි අධිපතියා නම්, ඉශ්රාහී ෂම්හුත් ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.</verse>
				<verse number="9">හය වැනි මාසයට හය වැනි අධිපතියා නම්, තෙකෝයිය ඉක්කෙෂ්ගේ පුත් ඊරා ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.</verse>
				<verse number="10">හත් වැනි මාසයට හත් වැනි අධිපතියා නම්, එප්‍රායිම්වරුන්ගෙන් එක් කෙනෙකු වූ පෙලෝනීය හෙලෙශ් ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.</verse>
				<verse number="11">අට වැනි මාසයට අට වැනි අධිපතියා නම්, ශෙරාහිවරුන්ගෙන් එක් කෙනෙකු වූ හුෂාතීය සිබ්බෙකයි ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.</verse>
				<verse number="12">නව වැනි මාසයට නව වැනි අධිපතියා නම්, බෙන්ජමින් වංශයට අයිති වූ අනාතෝතිය අබියෙශෙර් ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.</verse>
				<verse number="13">දස වැනි මාසයට දස වැනි අධිපතියා නම්, ශෙරාහිවරුන්ගෙන් එක් කෙනෙකු වූ නෙටෝපාතිය මහරයි ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.</verse>
				<verse number="14">එකොළොස් වැනි මාසයට එකොළොස් වැනි අධිපතියා නම්, එප්‍රායිම්වරුන්ගෙන් එක් කෙනෙකු වූ පීරාතෝනිය බෙනායා ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.</verse>
				<verse number="15">දොළොස් වැනි මාසයට දොළොස් වැනි අධිපතියා නම්, ඔත්නියෙල්ගේ වංශයට අයිති නෙටෝපාතිය හෙල්දයි ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.</verse>
				<verse number="16">තවද, ඉශ්රායෙල් ගෝත්‍රවල ප්‍රධානියෝ නම් මොවුහු ය. රූබන්වරුන්ට ආණ්ඩුකාරයා ව සිටියේ ශික්රීගේ පුත් එලියෙසර් ය. සිමියොන්වරුන්ට මයකාගේ පුත් ෂෙපටියා ය.</verse>
				<verse number="17">ලෙවීවරුන්ට කෙමුවෙල්ගේ පුත් හෂබියා ය. ආරොන් වංශයට ශාදොක් ය.</verse>
				<verse number="18">ජුදාවරුන්ට දාවිත්ගේ සහෝදරයෙකු වූ එලිහු ය. ඉස්සාකර්වරුන්ට මිකායෙල්ගේ පුත් ඔම්රී ය.</verse>
				<verse number="19">සාබුලොන්වරුන්ට ඔබදියාගේ පුත් ඉෂ්මායා ය. නප්තලීවරුන්ට අස්රියෙල්ගේ පුත් ජෙරිමොත් ය.</verse>
				<verse number="20">එප්‍රායිම්වරුන්ට අශශියාගේ පුත් හෝෂෙයා ය. මනස්සේගේ අර්ධ ගෝත්‍රයට පෙදායාගේ පුත් ජෝවෙල් ය.</verse>
				<verse number="21">ගිලියද්හි සිටි මනස්සේගේ අර්ධ ගෝත්‍රයට ශෙකරියාගේ පුත් ඉද්දෝ ය. බෙන්ජමින්වරුන්ට අබිනේර්ගේ පුත් ජයසීයෙල් ය.</verse>
				<verse number="22">දාන්වරුන්ට ජෙරොහාම්ගේ පුත් අශරියෙල් ය. ඉශ්රායෙල් ගෝත්‍රවල අධිපතියෝ මොවුහු ය.</verse>
				<verse number="23">එහෙත්, “අහසේ තාරකා මෙන් ඉශ්රායෙල්වරුන් වැඩි කරන්නෙමි”යි සමිඳාණන් වහන්සේ කියා තිබුණ නිසා විසි අවුරුදු වයසේ පටන් ඊට බාල වූ තැනැත්තන් දාවිත් ගණන් කෙළේ නැත.</verse>
				<verse number="24">ශෙරුයාගේ පුත් ජෝවාබ් සෙනඟ ගණන් කරන්න පටන්ගත් නමුත්, එය අවසාන කෙළේ නැත. තවද, ඒ ගැන ඉශ්රායෙල් පිට උදහස පැමිණියේ ය. ඒ ගණන ද දාවිත් රජුගේ වාර්තා පොතේ ඇතුළත් නොකරන ලද්දේ ය.</verse>
				<verse number="25">රජුගේ ගබඩා කෙරෙහි අදීයෙල්ගේ පුත් අශ්මාවෙත් පත් ව සිටියේ ය. පිටිසර පළාත්වල ද නුවරවල ද ගම්වල ද බලකොටුවල ද පිහිටි ගබඩා කෙරෙහි උශ්ශියාගේ පුත් ජොනතන් පත් ව සිටියේ ය.</verse>
				<verse number="26">ගොවිතැන් කිරීමට කෙත්වල වැඩ කළවුන් කෙරෙහි කෙලුබ්ගේ පුත් එස්රී පත් ව සිටියේ ය.</verse>
				<verse number="27">මිදි වතු කෙරෙහි රාමාතීය ෂිමෙයි පත් ව සිටියේ ය. මිදි වතුවල තිබුණු මුද්‍රික ගබඩා කෙරෙහි ෂිප්මිය ශබ්දී පත් ව සිටියේ ය.</verse>
				<verse number="28">පාත රටේ තිබුණු ඔලීව ගස් ද අත්තික්කා ගස් ද කෙරෙහි ගෙදේරිය බාල්-හානාන් පත් ව සිටියේ ය. තෙල් ගබඩා කෙරෙහි ජෝවාෂ් පත් ව සිටියේ ය.</verse>
				<verse number="29">ෂාරොන්හි තණ බිම්වල සිටි ගවයන් කෙරෙහි ෂාරෝනීය ෂිත්රයි ද මිටියාවත්වල සිටි ගවයන් කෙරෙහි අද්දයිගේ පුත් ෂාපාත් ද පත් ව සිටියෝ ය.</verse>
				<verse number="30">ඔටුවන් කෙරෙහි ඉෂ්මායෙලීය ඕබිල් ද, කොටළුවන් කෙරෙහි මෙරොනොතිය ජේදෙයා ද,</verse>
				<verse number="31">එළු බැටළු පට්ටි කෙරෙහි හග්රිය ජාසිස් ද පත් ව සිටියෝ ය. මේ සියල්ලෝ දාවිත් රජුගේ සම්පත්වල අධිපතියන් ව සිටියෝ ය.</verse>
				<verse number="32">දාවිත්ගේ මාමා වූ ජොනතන් මන්ත්‍රීවරයෙකු ව, තේරුම් ඇති මනුෂ්‍යයෙකු ව, ලේකම් කෙනෙකු ව සිටියේ ය. හක්මෝනිගේ පුත් ජෙහීයෙල් රජුගේ පුත්‍රයන් සමඟ සිටියේ ය.</verse>
				<verse number="33">අහිතොපෙල් වනාහි රජුගේ මන්ත්‍රීවරයා ව සිටියේ ය. අර්කීය හූෂයි රජුගේ මිත්‍රයා විය.</verse>
				<verse number="34">අහිතොපෙල් ළඟට බෙනායාගේ පුත් ජෙහෝයාදා සහ අබියාතර් ද මන්ත්‍රීවරයන් ව සිටියෝ ය. රජුගේ සේනාපතියා ජෝවාබ් ය.</verse>
			</chapter>
			<chapter number="28">
				<verse number="1">දාවිත් ඉශ්රායෙල්හි සියලු අධිපතීන් වන ගෝත්‍රවල අධිපතීන් ද රජුට සේවය කළ පංතිවල අධිපතීන් ද සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද රජුටත් ඔහුගේ පුත්‍රයන්ටත් අයිති සියලු වස්තු සම්පත්වල අධිපතීන් ද ඇමතියන් සහ බලවන්තයනුත්, සියලු බලවන්ත යුද්ධ භටයිනුත් සමඟ ජෙරුසලමට කැඳවාගත්තේ ය.</verse>
				<verse number="2">එකල දාවිත් රජු නැඟිට සිට කතා කොට, “මාගේ සහෝදරයෙනි, මාගේ ජනයෙනි, මට සවන් දෙන්න. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව තබන පිණිස එනම්, අපේ දෙවියන් වහන්සේට වැඩ විසීම පිණිස ස්ථිර නිවාසයක් ගොඩනඟන්න මම අදහස් කෙළෙමි. එය ගොඩනැඟීමට මා විසින් සූදානම් කරනු ලැබ තිබුණේ ය.</verse>
				<verse number="3">එහෙත්, දෙවියන් වහන්සේ මට කතා කොට, ‘නුඹ මාගේ නාමයට මාලිගාවක් ගොඩ නොනඟන්නෙහි ය; මන්ද, නුඹ රණකාමී මනුෂ්‍යයෙකි; නුඹ ලේ වැගිරෙවුවෙහි ය’යි වදාළ සේක.</verse>
				<verse number="4">එහෙත්, ඉශ්රායෙල්වරුන් කෙරෙහි සදහට ම රජ කෙනෙකු ව සිටීමට ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මාගේ පියාගේ මුළු වංශයෙන් මා තෝරාගත් සේක. මන්ද, උන් වහන්සේ ජුදා ද ජුදාගේ වංශයෙන් මාගේ පියාගේ පවුල ද අධිපතිකමට තෝරාගෙන සියලු ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකමට මා පත් කරන්න මාගේ පියාගේ පුත්‍රයන් අතරෙන් මා කෙරෙහි ප්‍රසන්න වූ සේක.</verse>
				<verse number="5">සමිඳාණන් වහන්සේ මට බොහෝ පුත්‍රයන් දුන් සේක. එහෙත්, ඉශ්රායෙල්වරුන් කෙරෙහි සමිඳාණන් වහන්සේගේ රජකම් කිරීමේ සිංහාසනයේ හිඳින පිණිස මාගේ සියලු පුත්‍රයන් අතරෙන් මාගේ පුත් සලමොන් තෝරාගත් සේක.</verse>
				<verse number="6">“උන් වහන්සේ මට කතා කොට, ‘නුඹේ පුත් සලමොන් ම මාගේ මාලිගාව ද මණ්ඩපය ද සාදන්නේ ය. මන්ද, මාගේ පුත්‍රයෙකු කොට මම ඔහු තෝරා ගතිමි. මම ඔහුට පියෙක් වන්නෙමි.</verse>
				<verse number="7">අද දවසේ මෙන් ඔහු මාගේ ආඥා ද විනිශ්චයයන් ද රක්ෂා කරමින් ස්ථිර ව සිටියොත්, ඔහුගේ රජකම සදහට ම ස්ථිර කරන්නෙමි’යි වදාළ සේක.</verse>
				<verse number="8">“ඉතින්, ඔබ මේ හොඳ දේශය භුක්ති විඳ, ඔබට පසු ව ඔබේ පුත්‍රයන්ට එය සදහට ම උරුම කර දෙන පිණිස, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා පිළිපදිමින් ඒවා සොයන්න කියා සමිඳාණන් වහන්සේගේ සභාව වන සියලු ඉශ්රායෙල්වරුන්ගේ ඇස් ඉදිරිපිට ද අපේ දෙවියන් වහන්සේට ඇසෙන ලෙස ද මම ඔබට අවවාද කරමි.</verse>
				<verse number="9">“සලමොන්, මාගේ පුත්‍රය, ඔබ ඔබේ පියාගේ දෙවියන් වහන්සේ දැන හැඳිනගෙන, මුළු හෘදයෙන් හා සම්පූර්ණ කැමැත්තෙන් උන් වහන්සේට මෙහෙ කරන්න. මන්ද, සමිඳාණන් වහන්සේ සියලු සිත් විමසා අපේ සිතුම් පැතුම් තේරුම් ගන්න සේක. ඔබ උන් වහන්සේ සොයන්නෙහි නම්, උන් වහන්සේ ඔබට සම්බ වනු ඇත. එහෙත්, යම් හෙයකින් ඔබ උන් වහන්සේ අත්හැරියොත්, උන් වහන්සේ ඔබ සදහට ම අහක දමනු ඇත.</verse>
				<verse number="10">ඒ නිසා මෙය සිතට ගන්න. මන්ද, ශුද්ධස්ථානයක් වන පිණිස දේව මාලිගාවක් ගොඩනැඟීමට සමිඳාණන් වහන්සේ ඔබ තෝරාගෙන සිටින සේක. ශක්තිමත් ව සිට එය කරන්නැ”යි කී ය.</verse>
				<verse number="11">එවිට දාවිත් දේව මාලිගාවේ ද්වාර මණ්ඩපයේත්, එහි ගෙවලත්, එහි ගබඩාවලත්, එහි උඩුමහල්වලත්, එහි ඇතුළු ගෙවලත්, කරුණාසනයේ ගෙයිත් සැලැස්ම ද,</verse>
				<verse number="12">තමාගේ හිතේ තිබුණු සියල්ල වන සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මණ්ඩපවලත්, වට කාමරවලත්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවලත්, කැප කරන ලද දේ තිබූ ගබඩාවලත්,</verse>
				<verse number="13">පූජකයන්ගේ ද ලෙවීවරුන්ගේ ද පංතිවලත්, උන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු කර්මාන්තවලත්, උන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු බඩුවලත් සැලැස්ම ද තමාගේ පුත් සලමොන්ට දුන්නේ ය.</verse>
				<verse number="14">එක එක සේවයේ සියලු රන් බඩුවල සැලැස්ම ද රන්වල බර ද සියලු රිදී බඩුවල සැලැස්ම ද එක එක සේවයේ සියලු බඩුවල බර ද</verse>
				<verse number="15">රන් පහන් රුක්වලත් ඒවායේ රන් පහන්වලත් බර ද එක එක පහන් රුකේත්, එහි පහන්වලත් බර ද රිදී පහන් රුක්වලත් එක එක පහන් රුකේ වැඩ ලෙස එක එකේ සහ ඒවායේ පහන්වලත් බර ද</verse>
				<verse number="16">පිදීමේ රොටි තබන එක එක මේසයේ රන් බර ද රිදී මේසවලට රිදී බර ද</verse>
				<verse number="17">පවිත්‍ර රන් මස් කොකුවලත්, තාලිවලත්, පාත්‍රවලත්, රන් කුසලාන්වලත්, සැලැස්ම ද එක එක කුසලානේ බර ද රිදී කුසලාන්වල සැලැස්ම ද එක එක කුසලානේ බර ද</verse>
				<verse number="18">පවිත්‍ර රන් දුම් පූජාසනයේ සැලැස්ම ද බර ද පියාපත් දිගහැර උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව වසාගන්න රන් කෙරුබ් රථයේ සැලැස්ම ද කියා දුන්නේ ය.</verse>
				<verse number="19">“මේ සටහනේ සියලු වැඩ තේරුම් කර දුන් සමිඳාණන් වහන්සේගේ අතින් මා ලවා සියල්ල ම ලියවා තිබේ ය”යි දාවිත් කීවේ ය.</verse>
				<verse number="20">තවද, දාවිත් තමාගේ පුත් සලමොන්ට කතා කොට, “ඔබ ශක්තිමත් ව, ධෛර්ය සම්පන්න ව සිට එය ඉෂ්ට කරන්න. බිය නොවන්න; නොකැළඹෙන්න. මන්ද, මාගේ දෙවියන් වහන්සේ වන දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ වසන සේක. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු කර්මාන්ත නිම වන තුරු උන් වහන්සේ ඔබෙන් ඉවත් නොවන සේක; ඔබ අත් නොහරින සේක.</verse>
				<verse number="21">ඇරත් පූජකයන්ගේ ද ලෙවීවරුන්ගේ ද පංතිවල අය දෙවියන් වහන්සේගේ මාලිගාවේ සියලු වැඩ පිණිස සිටිති. සියලු කටයුතුවල දී සියලු ආකාර වැඩට දක්ෂකම ද කැමැත්ත ද ඇති හැම දෙනා ද ඔබ සමඟ සිටිති. ඇරත් අධිපතියෝත්, මුළු සෙනඟත් ඔබේ අණට මුළුමනින් යටත් වන්නෝ ය”යි කීවේ ය.</verse>
			</chapter>
			<chapter number="29">
				<verse number="1">දාවිත් රජ මුළු සභාවට කතා කොට, “දෙවියන් වහන්සේ විසින් තෝරා ගනු ලැබූ එක ම තැනැත්තා වන මාගේ පුත් සලමොන් තව ම ළා බාල ය; කාර්යය නම් බරපතල ය. මන්ද, මාලිගාව මනුෂ්‍යයාට නොව දෙවි සමිඳාණන් වහන්සේට ය.</verse>
				<verse number="2">එබැවින් මාගේ මුළු ශක්තියෙන් මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාව ගැන රන් වැඩට රන් ද රිදී වැඩට රිදී ද ලෝකඩ වැඩට ලෝකඩ ද යකඩ වැඩට යකඩ ද ලී වැඩට ලී ද නඛමාණික්‍ය ද බැඳීමට ගල් ද ඔබ්බනු පිණිස ගල් ද විසිතුරු ගල් ද සියලු ආකාර මැණික් ගල් ද කිරිගරුඬ ගල් ද බොහෝ සෙයින් ම සූදානම් කෙළෙමි.</verse>
				<verse number="3">තවද, ශුද්ධ මාලිගාවට මා විසින් සපයනු ලැබ තිබෙන සියල්ලට අමතර ව මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාව කෙරෙහි ඇති මාගේ ළැදිකම නිසා මාගේ ම සම්පත වන රන් ද රිදී ද මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාවට දුන්නෙමි.</verse>
				<verse number="4">එනම්, මාලිගාවේ බිත්ති වසාලන පිණිස ද රන් වැඩවලටත්, රිදී වැඩවලටත්, කාර්මිකයන්ගේ සියලු වැඩවලටත් පාවිච්චි කරන පිණිස ද ඕපීර්හි රන් මෙට්රික් ටොන් සියයකුත්, පවිත්‍ර කළ රිදී මෙට්රික් ටොන් දෙසිය සතළිසකුත් දුන්නෙමි. ඉතින් අද සේවය සඳහා කැමැත්තෙන් ම සමිඳාණන් වහන්සේට පූජා කරන්නේ වෙන කවරෙක් දැ”යි කීවේ ය.</verse>
				<verse number="5">***</verse>
				<verse number="6">එවිට පිය වංශවල අධිපතීහු ද ඉශ්රායෙල් ගෝත්‍රවල අධිපතීහු ද සහශ්‍රාධිපතීහු ද ශතාධිපතීහු ද රාජකාරියේ අධිපතීහු ද කැමැත්තෙන් ම පඬුරු ඔප්පු කරමින්</verse>
				<verse number="7">දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවයට රන් මෙට්රික් ටොන් එකසිය හැත්තෑවට වැඩි ගණනකුත්, රිදී මෙට්රික් ටොන් තුන්සිය සතළිසකට වැඩි ගණනකුත්, ලෝකඩ මෙට්රික් ටොන් හයසිය විස්සක් පමණකුත්, යකඩ මෙට්රික් ටොන් තුන්දාස් හාරසියයකට වැඩි ගණනකුත් දුන්නෝ ය.</verse>
				<verse number="8">අනර්ඝ මැණික් ගල් ඇත්තෝ ද ගේර්ෂොනීය ජෙහීයෙල් අතින් ඒවා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවට දුන්නෝ ය.</verse>
				<verse number="9">සෙනඟ එසේ කැමැත්තෙන් ම ඒවා ඔප්පු කළ බැවින් ඔව්හු ප්‍රීති වුණෝ ය. මන්ද, ඔවුන් අවංක සිතකින් සමිඳාණන් වහන්සේට ඒවා පූජා කළ බැවිනි. දාවිත් රජු ද ඉමහත් ප්‍රීතියකට පත් විය.</verse>
				<verse number="10">දාවිත් මුළු සභාව ඉදිරියෙහි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරමින් කතා කොට, මෙසේ කීවේ ය: “අපේ පිය වන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබට සදහට ම ප්‍රශංසා වේවා.</verse>
				<verse number="11">සමිඳාණන් වහන්ස, ශ්‍රේෂ්ඨත්වය ද බලපරාක්‍රමය ද තේජස ද වික්‍රමය ද මහිමය ද අයත් ඔබට ය. මන්ද, ස්වර්ගයෙහිත්, පොළොවෙහිත් ඇති සියල්ල ඔබේ ය. සමිඳාණන් වහන්ස, රාජ්‍යයත් ඔබට අයිති ය. ඔබ සියල්ල කෙරෙහි විශිෂ්ට ලෙස උසස් ව සිටින සේක.</verse>
				<verse number="12">වස්තුව ද ගෞරවය ද පැමිණෙන්නේ ඔබෙන් ය. ඔබ සියල්ල පාලනය කරන සේක. බලය ද පරාක්‍රමය ද ඔබ අතෙහි ය. සියල්ලන් උසස් කරන්නටත්, ශක්තිමත් කරන්නටත්, බලය තිබෙන්නේ ඔබ අතෙහි ය.</verse>
				<verse number="13">එබැවින් අපේ දෙවියන් වහන්ස, අපි ඔබට ස්තුති කරමින් ඔබේ තේජාන්විත නාමය වර්ණනා කරමු.</verse>
				<verse number="14">“එහෙත්, මේ ආකාරයෙන් ඔබට මේවා ඔප්පු කිරීමට පොහොසත් වූ මමත්, මාගේ සෙනඟත් කවුරු ද? මන්ද, සියල්ල ම පැමිණෙන්නේ ඔබෙන් ය. ඔබේ ම දෙයින් අපි ඔබට දුනිමු.</verse>
				<verse number="15">මන්ද, අපේ සියලු පියවරුන් මෙන් අපි ඔබ ඉදිරියෙහි ආගන්තුකයන් ව හා කලක් නේවාසිකයන් ව සිටිමු. පොළොවේ අපේ ආයු කාලය සෙවණැල්ලක් මෙන් ගෙවී යයි. බලාපොරොත්තුවක් ද අපට නැත්තේ ය.</verse>
				<verse number="16">අපේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබේ ශුද්ධ නාමය උදෙසා ඔබට දේව මාලිගාවක් ගොඩනැඟීමට අප විසින් සූදානම් කරන ලද මේ මහත් ද්‍රව්‍ය රාශිය පැමිණෙන්නේ ඔබ අතින් ය. සියල්ල ම ඔබේ ය.</verse>
				<verse number="17">මාගේ දෙවියන් වහන්ස, ඔබ සිත සෝදිසි කරන බවත්, අවංකකමට ප්‍රසන්න බවත් දනිමි. මම වනාහි මාගේ සිතේ අවංකකමින් මේ සියල්ල කැමැත්තෙන් ම ඔප්පු කෙළෙමි. දැන් මෙහි සිටින ඔබේ සෙනඟ ද සතුටු සිතින් ඔබට පඬුරු පූජා කරන බව ප්‍රීතියෙන් දිටිමි.</verse>
				<verse number="18">අපේ පියවරුන් වූ ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ඉශ්රායෙල්ගේ ද දෙවි සමිඳාණන් වහන්ස, මේ අදහස් හා කල්පනා ඔබේ සෙනඟගේ සිත්වල සදහට ම පිහිටුවා, ඔවුන්ගේ සිත් ඔබ වෙත ම නමාගත මැනව.</verse>
				<verse number="19">ඔබේ ආඥා ද ශික්ෂා ද පණත් ද පිළිපදින්නටත්, මේ සියල්ල ම ඉෂ්ට කරන්නටත්, මා සූදානම් කර තිබෙන මාලිගාව ගොඩනඟන්නටත් මාගේ පුත් සලමොන්ට ස්ථිර සිතක් දුන මැනව.”</verse>
				<verse number="20">එවිට දාවිත් මුළු සභාවට කතා කොට, “ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්නැ”යි කී ය. මුළු සභාව ද තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරමින්, හිස නමා සමිඳාණන් වහන්සේටත්, රජුටත් වැන්දෝ ය.</verse>
				<verse number="21">ඒ දවසට පසු දා ඉශ්රායෙල්වරු සමිඳාණන් වහන්සේට පූජා ඔප්පු කරමින්, ගොනුන් දහසකුත්, බැටළුවන් දහසකුත්, බැටළු වස්සන් දහසකුත් දවන පූජා කොට ද ඒවා සමඟ පානීය පූජා ද වෙනත් පූජා ද බොහෝ සෙයින් ම සියලු ඉශ්රායෙල්වරුන් උදෙසා සමිඳාණන් වහන්සේට ඔප්පු කළෝ ය.</verse>
				<verse number="22">ඔව්හු ඒ දවසේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඉමහත් සන්තෝෂයෙන් ආහාර පාන භුක්ති වින්දාහ. ඉන්පසු දෙ වන වර දාවිත්ගේ පුත් සලමොන් රජකමට පත් කළෝ ය. තවද, ඔව්හු සමිඳාණන් වහන්සේ උදෙසා ඔහු ප්‍රධානාධිපතියා කොට ද ශාදොක් පූජකයා කොට ද ආලේප කළෝ ය.</verse>
				<verse number="23">එවිට සලමොන් තමාගේ පිය වූ දාවිත් වෙනුවට රජ ව සමිඳාණන් වහන්සේගේ සිංහාසනයෙහි හිඳ සමෘද්ධිමත් විය. සියලු ඉශ්රායෙල්වරු ඔහුට කීකරු වූ හ.</verse>
				<verse number="24">සියලු අධිපතීහු ද බලවන්තයෝ ද දාවිත් රජුගේ සියලු පුත්‍රයෝ ද සලමොන් රජුට පක්ෂපාතී ව සිටින්න පොරොන්දු වූ හ.</verse>
				<verse number="25">සමිඳාණන් වහන්සේ ද මුළු ඉශ්රායෙල්වරුන්ගේ ඇස් හමුයෙහි සලමොන් ඉතා උසස් කොට, ඉශ්රායෙල්හි ඔහුට පළමුවෙන් සිටි කිසි රජෙකුට නොතිබුණු පරිද්දෙන් ඔහුට රාජෛශ්වර්යය දුන් සේක.</verse>
				<verse number="26">ජෙස්සේගේ පුත් දාවිත් රජු මුළු ඉශ්රායෙල් ජනයා පාලනය කෙළේ ය.</verse>
				<verse number="27">ඔහු ඉශ්රායෙල්වරුන් පාලනය කළ කාලය සතළිස් අවුරුද්දකි. ඔහු හෙබ්‍රොන්හි සත් අවුරුද්දක් ද ජෙරුසලමෙහි තිස්තුන් අවුරුද්දක් ද රජකම් කෙළේ ය.</verse>
				<verse number="28">ඔහු වයසෙන් ද වස්තුවෙන් ද ගෞරවයෙන් ද පූර්ණ ව දිගායු වළඳා මරණයට පත් විය. ඔහුගේ පුත් සලමොන් ඔහු වෙනුවට රජකම් කෙළේ ය.</verse>
				<verse number="29">මුල පටන් අන්තිම දක්වා දාවිත් රජුගේ පුවත් එනම්, ඔහුගේ රාජ්‍ය පාලනය ද බලවන්තකම් ද ඔහුටත්, ඉශ්රායෙල්වරුන්ටත්,</verse>
				<verse number="30">දේශවල සියලු රාජ්‍යවලටත් සිදු වූ කාරණා ද යන සියල්ල දිවැසිවර සාමුවෙල්ගේ ද දිවැසිවර නාතාන්ගේ ද දිවැසිවර ගාද්ගේ ද පුරාවෘත්ත ග්‍රන්ථවල ලියා තිබේ.</verse>
			</chapter>
		</book>
		<book number="14">
			<chapter number="1">
				<verse number="1">දාවිත්ගේ පුත් සලමොන් සිය රජකමෙහි ස්ථිර විය. ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිට ඔහු ඉතා උසස් කළ සේක.</verse>
				<verse number="2">සලමොන් සියලු ඉශ්රායෙල්වරුන්ට එනම්, සහශ්‍රාධිපතීන්ට හා ශතාධිපතීන්ට ද විනිශ්චයකාරයන්ට ද පිය වංශවල ප්‍රධානීන් වන මුළු ඉශ්රායෙල්හි අධිපතීන් සියල්ලන්ට ද කතා කෙළේ ය.</verse>
				<verse number="3">ඉක්බිති සලමොන් ද ඔහු සමඟ මුළු සභාව ද ගිබියොන්හි ගිරිකුළට ගියෝ ය. මන්ද, සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් විසින් පාළුකරයේ දී සාදන ලද දෙවියන් වහන්සේගේ සම්මුඛ මණ්ඩපය එහි තිබූ බැවිනි.</verse>
				<verse number="4">එහෙත්, දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කිරියත්-ජෙයාරීම් සිට දාවිත් ඊට සූදානම් කළ ස්ථානයට ඔහු විසින් ගෙනෙනු ලැබ තිබිණි. එසේ වූයේ, ඔහු ජෙරුසලමෙහි ඊට කූඩාරමක් පිහිටුවා තිබුණ නිසා ය.</verse>
				<verse number="5">තවද, හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත් බෙශලෙල් සෑදූ ලෝකඩ පූජාසනය සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය ඉදිරිපිට විය. සලමොන් ද සභාව ද ඊට ළඟා වූ හ.</verse>
				<verse number="6">එහි සමිඳාණන් වහන්සේ අබිමුව සම්මුඛ මණ්ඩපය ඉදිරිපිට තිබෙන ලෝකඩ පූජාසනය පිට සලමොන් දවන යාග පූජා දහසක් ඔප්පු කෙළේ ය.</verse>
				<verse number="7">එදා රාත්‍රියේ දෙවියන් වහන්සේ සලමොන්ට පෙනී, “මා විසින් නුඹට දෙනු ලැබිය යුත්තේ කුමක් ද කියා ඉල්ලන්නැ”යි ඔහුට වදාළ සේක.</verse>
				<verse number="8">සලමොන් කතා කරමින්, “ඔබ මාගේ පිය වූ දාවිත්ට මහත් කරුණාව පෙන්වමින් ඔහු වෙනුවට මා රජකමට පත් කළ සේක.</verse>
				<verse number="9">දැනුදු දෙවි සමිඳුනි, ඔබ මාගේ පිය වූ දාවිත්ට දුන් පොරොන්දුව ස්ථිර වී ඇත. මන්ද, ගණනින් පොළොවේ ධූලි මෙන් වන සෙනඟගේ රජ කොට ඔබ මා පත් කළ සේක.</verse>
				<verse number="10">එබැවින් මා මේ සෙනඟ විනිශ්චය කරන පිණිස මට ප්‍රඥාවත්, දැනගැන්මත් දුන මැනව. මන්ද, ඔබේ මේ මහත් සෙනඟ විනිශ්චය කරන්න කා හට පුළුවන් දැ”යි දෙවියන් වහන්සේට කීවේ ය.</verse>
				<verse number="11">දෙවියන් වහන්සේ සලමොන්ට කතා කොට, “නුඹ වස්තුව වත්, සම්පත වත්, ගෞරවය වත්, නුඹට වෛරවන්නන්ගේ ජීවිත වත් ඉල්ලන්නේ නැති ව, දීර්ඝායුෂ ද නොඉල්ලා, නුඹේ පාලනයට මා විසින් භාර දෙන ලද මාගේ සෙනඟ විනිශ්චය කරන පිණිස ප්‍රඥාව ද දැනගැන්ම ද ඉල්ලූ නිසා,</verse>
				<verse number="12">ප්‍රඥාවත්, දැනගැන්මත් මම නුඹට දෙමි. තවද, නුඹට පළමුවෙන් සිටි කවර රජෙකුට වත් නොතිබුණ, නුඹට පසු ව කවර රජ කෙනෙකුට වත් නොලැබෙන තරම් වස්තුවත්, සම්පතත්, ගෞරවයත් නුඹට දෙන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="13">එවිට සලමොන් ගිබියොන්හි ගිරිකුළෙහි තිබුණ සම්මුඛ මණ්ඩපය වෙතින් ජෙරුසලමට ආවේ ය. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ රජ විය.</verse>
				<verse number="14">තවද, සලමොන් රථ ද අසරුවන් ද රැස් කරගත්තේ ය. ඔහුට එක්දහස් හාරසියයක් රථ ද දොළොස්දහසක් අසරුවෝ ද වූ හ. ඔහු ඒවා රථ නවතන නුවරවල ද රජු ළඟ ජෙරුසලමෙහි ද තැබුවේ ය.</verse>
				<verse number="15">ඇරත්, රජ රන් රිදී ජෙරුසලමෙහි ගල් මෙන් ද කිහිරි ගස් පාත රටෙහි අත්තික්කා ගස් මෙන් ද ගණනින් වැඩි වන්න සැලැස්සුවේ ය.</verse>
				<verse number="16">සලමොන්ට සිටි අශ්වයෝ මිසර හා කූවේ දේශයෙන් ගෙනෙන ලද්දෝ ය. රජුගේ වෙළෙන්දෝ උන් රැළක් රැළක් වශයෙන් නියමිත මිලකට ලබාගත්හ.</verse>
				<verse number="17">ඔව්හු රථයකට රිදී කාසි හයසියය බැගින් ද අශ්වයෙකුට එකසියපණහ බැගින් ද ගෙවා මිසර දේශයෙන් ගෙනාවෝ ය. එසේ ම ඔව්හු හිත්තීවරුන්ගේ සියලු රජුන්ටත්, සිරියාවේ රජුන්ටත් ගෙනවුත් දුන්නෝ ය.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">සලමොන් සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ද තමාට රජමැදුරක් ද ගොඩනඟන්න අදහස් කරගෙන,</verse>
				<verse number="2">බර අදින පිණිස මිනිසුන් සැත්තෑදහසක් ද කඳුකරයේ ලී කපන පිණිස මිනිසුන් අසූදහසක් ද ඔවුන් කෙරෙහි නිලධාරීන් තුන්දහස් හයසියයක් ද නියම කෙළේ ය.</verse>
				<verse number="3">සලමොන් තීර්හි හූරාම් රජුට පණිවුඩයක් යවමින්, “මාගේ පිය වූ දාවිත්ට වාසය කිරීමට ගෙයක් ගොඩනැඟීම පිණිස ඔබ කිහිරි ලී එවීමෙන් ඔහු සමඟ ගනු දෙනු කළ පරිදි මා සමඟත් ගනු දෙනු කළ මැනව.</verse>
				<verse number="4">මම මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනඟා උන් වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පු කරන පිණිසත්, නිරන්තර පිදීමේ රොටි තබන පිණිසත්, උදේ සවස ද සබත් දවස්වල ද අමාවක් දිනවල ද අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ නියම මංගල්‍යවල දී ද දවන යාග පූජා ඔප්පු කරන පිණිසත් එය උන් වහන්සේට කැප කරන්න යමි. මෙය සදහට ම ඉශ්රායෙල්වරුන්ට නියෝගයක් වනු ඇත.</verse>
				<verse number="5">අපේ දෙවියන් වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා උතුම් නිසා මා ගොඩනඟන මාලිගාවත් විශාල ය.</verse>
				<verse number="6">එහෙත්, ස්වර්ගයට ද අති උසස් ස්වර්ගයට ද උන් වහන්සේ දරන්න අවකාශ තිබෙද්දී උන් වහන්සේට මාලිගාවක් ගොඩනඟන්න කවරෙකු හට පුළුවන්කම තිබේ ද? උන් වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පු කිරීමට මිස, වෙන කුමන හේතුවක් නිසා උන් වහන්සේට මාලිගාවක් ගොඩනඟන්න මම කවරෙක් ද?</verse>
				<verse number="7">ඉතින් මාගේ පිය දාවිත් සපයා දුන්, ජුදාහිත්, ජෙරුසලමෙහිත් මා ළඟ සිටින දක්ෂ ප්‍රඥාවන්ත මිනිසුන් සමඟ රන්, රිදී, ලෝකඩ, යකඩ වැඩත්, නිල් පාට, දම් පාට, තද රතු පාට නූල් වැඩත් වන සියලු ආකාර කැටයම් වැඩ කරන්න දන්න මිනිසෙකු මට එවුව මැනව.</verse>
				<verse number="8">ලෙබනොන්හි සිට කිහිරි ලී ද දේවදාර ලී ද හඳුන් ලී ද මා වෙත එවුව මැනව. මන්ද, ඔබේ මෙහෙකරුවන් ලෙබනොන්හි ලී කැපීමෙහි දක්ෂ බව මම දනිමි. මාගේ මෙහෙකරුවන් ඔබේ මෙහෙකරුවන් සමඟ වැඩ කරනු ඇත.</verse>
				<verse number="9">මා ගොඩනඟන මාලිගාව මහා ආශ්චර්යමත් එකක් නිසා, මට බොහෝ සෙයින් ලී සූදානම් කළ යුතු ව තිබේ.</verse>
				<verse number="10">ලී කපන ඔබේ මෙහෙකරුවන්ගේ ආහාර පිණිස තිරිඟු මෙට්රික් ටොන්‍ දෙදහසක් ද යව මෙට්රික් ටොන්‍ දෙදහසක් ද මුද්‍රික පාන ලීටර් හාරලක්ෂයක් ද තෙල් ලීටර් හාරලක්ෂයක් ද මම දෙන්නෙමි”යි කියා යැවී ය.</verse>
				<verse number="11">එවිට තීර්හි රජ වන හූරාම්, සලමොන්ට ලියුමකින් උත්තර දෙමින්, “සමිඳාණන් වහන්සේ තමන් සෙනඟට ප්‍රේම කරන නිසා උන් වහන්සේ ඔබ ඔවුන්ගේ රජ කොට පත් කළ සේකැ”යි කී ය.</verse>
				<verse number="12">තවදුරටත් හූරාම් කියනුයේ, “අහසත්, පොළොවත් මැවූ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! මන්ද, සමිඳාණන් වහන්සේට මාලිගාවක් ද තමාට ම රජමැදුරක් ද ගොඩනැඟීමට සිහි කල්පනාවෙන් හා නැණ නුවණින් යුක්ත පුත්‍රයෙකු උන් වහන්සේ දාවිත් රජුට දුන් සේක.</verse>
				<verse number="13">ඉතින් ප්‍රඥාවන්ත, කලාශිල්පියෙකු වන හූරාම්-අබි මම එවමි.</verse>
				<verse number="14">ඔහුගේ මව දාන්ගේ ගෝත්‍රයේ ස්ත්‍රියකි. ඔහුගේ පියා තීර්හි වැසියෙකි. ඔබේ ශිල්පීන් හා ඔබේ පියා වන මාගේ ස්වාමී වූ දාවිත්ගේ ශිල්පීන් සමඟ ඔහු වැඩ කළ යුතු ය. ඔහු රන්, රිදී, ලෝකඩ, යකඩ, ගල්, ලී වැඩ හා රත්නිල්, නිල්වන්, සිහින් හණ, රතු නූල් වැඩ කරන්න හා කොයි යම් කැටයම් වැඩක් නමුත් කරන්න සමර්ථ වේ.</verse>
				<verse number="15">ඉතින්, මාගේ ස්වාමියා කී පරිදි තිරිඟු ද යව ද තෙල් ද මුද්‍රික පානය ද තම මෙහෙකරුවන්ට එවිය යුතු ය.</verse>
				<verse number="16">අපි ද ඔබට ඕනෑ හැටියට ලෙබනොන් සිට ලී කපා, ඒවා පහුරු බැඳ, මුහුදෙන් ජොප්පාවට ගෙනවුත් ඔබට දෙන්නෙමු. එවිට ඔබට ඒවා ජෙරුසලමට ගෙන්වා ගත හැකි ය”යි ද දැන්වී ය.</verse>
				<verse number="17">සලමොන් ඉශ්රායෙල් දේශයෙහි සිටි සියලු විදේශීන් තමාගේ පිය වූ දාවිත් ඔවුන් ගණන් කළ ලෙස නැවත ඔවුන් ගණන් කෙළේ ය. ඔව්හු එක්ලක්ෂ පණස්තුන්දාස් හයසියයක් වූවෝ ය.</verse>
				<verse number="18">ඔහු ඔවුන්ගෙන් හැත්තෑදහසක් බර අදින පිණිස ද අසූදහසක් කඳුකරයේ ලී කැපීමට ද තුන්දහස් හයසියයක් සෙනඟ ලවා වැඩ කරවන නිලධාරීන් කොට ද පත් කෙළේ ය.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">එකල සලමොන් තමාගේ පිය වූ දාවිත්ට ජෙරුසලමෙහි දී සමිඳාණන් වහන්සේ දර්ශනය වූ මොරියා කන්දේ ජෙබුසිය වූ ඔර්ණාන්ගේ කමතේ දාවිත් විසින් නියම කරන ලද ස්ථානයෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන්න පටන්ගත්තේ ය.</verse>
				<verse number="2">ඔහු තමා රජකමට පත් වූ හතර වන අවුරුද්දේ දෙ වන මාසයේ දෙ වන දා එය ගොඩනඟන්න පටන්ගත්තේ ය.</verse>
				<verse number="3">දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනැඟීමට සලමොන් දැමූ අත්තිවාරම මෙය වේ. පළමුවෙන් තිබූ නියමිත මිම්මේ හැටියට එහි දිග මීටර් විසිහතකි; පළල මීටර් නවයකි:</verse>
				<verse number="4">ඉස්සරහ තිබුණු ද්වාර මණ්ඩපයේ දිග ගෘහයේ පළල ලෙස ම මීටර් නවයකි; උස මීටර් පණස්හතරකි. එහි ඇතුළත ඔහු පවිත්‍ර රන් ආලේප කෙළේ ය.</verse>
				<verse number="5">ඔහු ලොකු මාලිගාවේ ඇතුළ දේවදාර ලීවලින් වසා, එහි පෙරූ රත්රන් ආලේප කොට, ඒ මතු පිට තල්ගස් ද දම්වැල් ද සාදා,</verse>
				<verse number="6">අලංකාරය පිණිස අනර්ඝ ගල්වලින් මාලිගාව සැරසුවේ ය. ඒ රන්, පර්වායිම් නම් ස්ථානයේ රන් ය.</verse>
				<verse number="7">ඔහු මාලිගාව ද බාල්ක ද උළුවහු ද එහි බිත්ති ද දොරවල් ද රනින් ආලේප කෙළේ ය. බිත්තිවල කෙරුබ් රූප ද කැටයම් කෙළේ ය.</verse>
				<verse number="8">ඔහු අතිශුද්ධස්ථානයක් සෑදුවේ ය. එහි දිග මාලිගාවේ පළල ලෙස ම මීටර් නවයකි; එහි පළලත් මීටර් නවයකි. ඔහු එය පෙරූ රන් මෙට්රික් ටොන්‍ විස්සකින් පමණ ආලේප කෙළේ ය.</verse>
				<verse number="9">ඇණවල බර රන් ග්‍රෑම් පන්සියහැත්තෑවකි. ඔහු උඩුමහල් තලයෙත් රන් ආලේප කෙළේ ය.</verse>
				<verse number="10">තවද, ඔහු අතිශුද්ධස්ථානයෙහි කෙරුබ් රූප දෙකක් කපා සාදා තැබුවේ ය. ඒවා රනින් ආලේප කරන ලද්දේ ය.</verse>
				<verse number="11">කෙරුබ් රූප පියාපත්වල දිග මීටර් නවයකි. එක පියාපතක් මීටර් දෙකයි දශම දෙකකි. එකක් මාලිගාවේ බිත්තියට ස්පර්ශ වන ලෙස ද, අනික් පියාපත මීටර් දෙකයි දශම දෙකක් දික් ව, අනික් කෙරුබ් රූපයේ පියාපතකට ස්පර්ශ වන ලෙස ද තිබුණේ ය.</verse>
				<verse number="12">අනික් කෙරුබ් රූපයේ පියාපතක් මීටර් දෙකයි දශම දෙකක් දිග ව මාලිගාවේ බිත්තියට ස්පර්ශ වන ලෙස ද, අනික් පියාපත මීටර් දෙකයි දශම දෙකක් දිග ව අනික් කෙරුබ් රූපයේ පියාපතකට ස්පර්ශ වන ලෙස ද තිබුණේ ය.</verse>
				<verse number="13">මේ කෙරුබ් රූපවල පියාපත් මීටර් නවයක් විහිදී තිබුණේ ය. ඒවා කෙළින් පිහිටා තිබිණි. ඒවායේ මුහුණු මාලිගාව දෙසට විය.</verse>
				<verse number="14">ඔහු නිල් පාට, තද රතු පාට, දම් පාට නූල්වලිනුත්, සිහින් හණ නූල්වලිනුත් තිරය ද ඒ පිට කෙරුබ් රූප ද සෑදුවේ ය.</verse>
				<verse number="15">මාලිගාව ඉදිරිපිට ඔහු මීටර් පහළොවයි දශම පහක් උස ඇති කුළුණු දෙකක් සෑදුවේ ය. එක එකේ මුදුන පිට තිබුණ පේකඩය මීටර් දෙකයි දශම දෙකකි.</verse>
				<verse number="16">දිව්‍ය-වාක්‍යස්ථානයෙහි තිබුණ පරිදි ඔහු දම්වැල් සාදා ඒවා කුළුණු මුදුන්වල තබා දෙළුම් සියයක් ලෝකඩවලින් සාදා ඒවා දම්වැල්වල එල්ලුවේ ය.</verse>
				<verse number="17">ඔහු මාලිගාව ඉදිරිපිට ඒ කුළුණු, එකක් දකුණු පැත්තේ ද එකක් වම් පැත්තේ ද පිහිටුවා, දකුණු පැත්තේ එකට, ‘එතුමාණෝ පිහිට වන සේක’ යන අර්ථය ඇති ‘ජාකීන්’ යන නම ද, වම් පැත්තේ එකට, ‘එහි ශක්තිය තිබේ’ යන අර්ථය ඇති ‘බෝවස්’ යන නම ද තැබී ය.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">ඔහු ලෝකඩ පූජාසනයක් ද සෑදුවේ ය. එහි දිග මීටර් නවයකි; පළල මීටර් නවයකි; උස මීටර් හතරයි දශම පහකි.</verse>
				<verse number="2">ඔහු වතුර පොකුණ වාත්තු කර සෑදුවේ ය. එහි ගැටියේ එක් පැත්තක සිට අනික් පැත්ත දක්වා මීටර් හතරයි දශම හතරකි. එය වටකුරු ව තිබුණේ ය. එහි උස මීටර් දෙකයි දශම දෙකකි. එහි වට ප්‍රමාණය මීටර් දහතුනයි දශම දෙකකි.</verse>
				<verse number="3">එහි පහළ කොට්ඨාශයේ මීටර් දශම පහකට ගව රූප දහය බැගින්, එය වාත්තු කරන විට වාත්තු කළ දෙපේළියක ගව රූප වටේට ම තිබිණි.</verse>
				<verse number="4">ඒ පොකුණ ගව රූප දොළොසක් පිට තැබී ය. රූප තුනක් උතුරු දෙසට ද තුනක් බටහිර දෙසට ද තුනක් දකුණු දෙසට ද තුනක් නැගෙනහිර දෙසට ද හැරී තිබිණි. වතුර පොකුණ ඒවාට උඩින්, ඒවා පිට, විය. ඒවායේ පසුපස කොට්ඨාශ සියල්ල ම ඇතුළට තිබිණි.</verse>
				<verse number="5">එහි ඝනකම මිලිමීටර් හැත්තෑපහකි. එහි ගැටිය කුසලාන් ගැටියක හැඩේට මෙන් මානෙල් මලක් ලෙස සාදා තිබිණි. එහි වතුර ප්‍රමාණය ලීටර් හැටදහසක් පමණ විය.</verse>
				<verse number="6">සේදීම පිණිස ඔහු භාජන දහයක් සාදා, පහක් දකුණු පැත්තේ ද පහක් වම් පැත්තේ ද තැබී ය. දවන යාග පූජාවට ඔප්පු කළ දේ එහි සෝදන ලද්දේ ය. එහෙත්, වතුර පොකුණ තිබුණේ පූජකයන්ට ස්නානය කරන පිණිස ය.</verse>
				<verse number="7">ඔහු රන් පහන් රුක් දසයත් ඒවායේ නියම පිළිවෙළට සාදා, මාලිගාවේ දකුණේ පහකුත්, වමේ පහකුත් තැබුවේ ය.</verse>
				<verse number="8">ඔහු මේස දහයක් ද සාදා, පහක් මාලිගාවේ දකුණේ ද පහක් වමේ ද තැබුවේ ය. ඔහු රන් තලි සියයකුත් සෑදුවේ ය.</verse>
				<verse number="9">පූජකයන්ගේ මළුව ද මහ මළුව ද ඒ මළුවට දොරවල් ද සාදා, ඒ දොරවල් ලෝකඩෙන් වැසුවේ ය.</verse>
				<verse number="10">ඔහු දකුණු පැත්තෙන් පූර්ව දිශාවටත් දකුණු දිශාවටත් අතරෙහි වතුර පොකුණ තැබුවේ ය.</verse>
				<verse number="11">තවද, හූරාම්, සැළිත්, හැඳිත්, තාලිත් සෑදුවේ ය. මෙසේ හූරාම් දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි සලමොන් රජ උදෙසා කළ වැඩ ඉෂ්ට කොට නිම කෙළේ ය.</verse>
				<verse number="12">ඒ වැඩ නම්, කුළුණු දෙක ද, කුළුණු මුදුන් පිට ගෝල සහ පේකඩ දෙක ද, කුළුණු මුදුන් පිට වූ පේකඩවල ගෝල දෙක වැසීමට දැල් වැඩ දෙක ද,</verse>
				<verse number="13">කුළුණු පිට තිබුණු පේකඩවල ගෝල වැසීමට එක එක දැල් වැඩේට දෙළුම් දෙපේළියක් බැගින් දැල් වැඩ දෙකට දෙළුම් හාරසියයක් ද යන මේවා ය.</verse>
				<verse number="14">ඔහු මැසි ද සෑදුවේ ය. මැසි පිට භාජන ද</verse>
				<verse number="15">වතුර පොකුණ ද ඒ යට ගව රූප දොළොස ද</verse>
				<verse number="16">සැළි ද හැඳි ද මස් කොකු ද ඒවායේ සියලු බඩු ද ඔහු සෑදුවේ ය. ඔහුට පියෙකු වූ හූරාම්-අබි සමිඳාණන් වහන්සේගේ මාලිගාව උදෙසා සලමොන් රජුට ඒ බඩු ඔප දැමූ පිත්තලෙන් සෑදුවේ ය.</verse>
				<verse number="17">ජොර්දාන් සමභූමියෙහි සුක්කොත් ද ශෙරෙදා ද අතරේ තිබෙන මැටි බිමෙහි රජ ඒවා වාත්තු කරවී ය.</verse>
				<verse number="18">මෙසේ සලමොන් මේ සියලු භාණ්ඩ මහත් රාශියක් සෑදුවේ ය. ලෝකඩවල බර දැනගත නොහැකි විය.</verse>
				<verse number="19">සලමොන් දෙවියන් වහන්සේගේ මාලිගාවේ සියලු බඩු වන රන් පූජාසනය ද, පිදීමේ රොටි තිබුණු මේස ද,</verse>
				<verse number="20">දිව්‍ය-වාක්‍යස්ථානය ඉදිරිපිට නියමයේ සැටියට දැල්වීමට පවිත්‍ර රන් පහන් රුක් ද, ඒවායේ පහන් ද,</verse>
				<verse number="21">රනින් එනම්, ඉතා අනර්ඝ රනින් මල් ද පහන් ද අඬු ද සෑදුවේ ය.</verse>
				<verse number="22">පවිත්‍ර රනින් පහන් කතුරු ද තලි ද හැඳි ද ගිනි කබල් ද සෑදෙව්වේ ය. මාලිගාවට ඇතුළු වන තැන එනම්, අතිශුද්ධස්ථානයේ ඇතුළු දොරවල් ද ගෘහයේ එනම්, මාලිගාවේ දොරවල් ද රනින් විය.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">මෙසේ සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාව උදෙසා කළ සියලු වැඩ සම්පූර්ණ විය. සලමොන් තමාගේ පිය දාවිත් විසින් කැප කරනු ලැබ තිබුණු දේවල් එනම්, රිදී ද රන් ද සියලු භාණ්ඩ ද ඇතුළට ගෙනවුත් දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවල ඒවා තැබී ය.</verse>
				<verse number="2">එකල සලමොන් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවර වූ සියොන්හි සිට ගෙනෙන්නට ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් ද ඉශ්රායෙල්වරුන්ගේ පිය වංශ ගෝත්‍රවල සියලු ප්‍රධානීන් ද ජෙරුසලමට රැස් කරවී ය.</verse>
				<verse number="3">සියලු ඉශ්රායෙල් මනුෂ්‍යයෝ ද සත් වන මාසයේ පැවැත්වූ මංගල්‍යයේ දී රජු වෙත රැස් වූවෝ ය.</verse>
				<verse number="4">ඉශ්රායෙල්වරුන්ගේ සියලු ප්‍රජා මූලිකයන් ආ කල, ලෙවීවරු ගිවිසුම් කරඬුව උසුලාගෙන</verse>
				<verse number="5">කරඬුව ද සම්මුඛ මණ්ඩපය ද කූඩාරමෙහි තිබුණු සියලු ශුද්ධ භාණ්ඩ ද ගෙනාහ. පූජකයෝත්, ලෙවීවරුත් ඒවා ගෙනාහ.</verse>
				<verse number="6">සලමොන් රජු හා ඔහු වෙත රැස් ව සිටි මුළු ඉශ්රායෙල් සභාව කියන්න හෝ ගණින්න හෝ බැරි තරම් බැටළුවන් ද ගවයන් ද පූජා කරමින් ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සිටියෝ ය.</verse>
				<verse number="7">පූජකයෝ සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අතිශුද්ධස්ථානය වන මාලිගාවේ දිව්‍ය-වාක්‍යස්ථානයට ගෙනවුත්, කෙරුබ්වරුන්ගේ පියාපත් යට ඊට නියම ස්ථානයෙහි තැබුවෝ ය.</verse>
				<verse number="8">එසේ කරඬුව තැබූ ස්ථානයට උඩින් විහිදී තිබුණු කෙරුබ්වරුන්ගේ පියාපත්වලට කරඬුවත් එහි පොලුත් වැසී තිබුණේ ය.</verse>
				<verse number="9">පොලු දිග බැවින් පොලුවල කෙළවරවල් ගිවිසුම් කරඬුවෙන් පිට දිව්‍ය-වාක්‍යස්ථානය ඉදිරියෙහි පෙනුණේ ය. එහෙත්, ඒවා පිටතට පෙනුණේ නැත. ඒවා අද දක්වා ම එහි තිබේ.</verse>
				<verse number="10">ඉශ්රායෙල්වරුන් මිසරයෙන් පැමිණි පසු සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ ගිවිසුමක් කළ විට, මෝසෙස් හොරෙබ්හි දී එහි තැබූ ගල්ලෑලි දෙක මිස කරඬුවේ වෙන කිසිවක් නොතිබුණේ ය.</verse>
				<verse number="11">එතැන සිටි සියලු පූජකයෝ කවර පංතියට අයිති වුව ද පවිත්‍ර වී සිටියෝ ය.</verse>
				<verse number="12">ආසාප් ද හේමන් ද ජෙදුතුන් ද ඔවුන්ගේ පුත්‍රයෝ ද සහෝදරයෝ ද යන ගායකයන් වූ ලෙවීවරු සියල්ලෝ ම සිහින් හණ සළු හැඳ, අත්තල් ද වීණා ද මහා වීණා ද ඇති ව පූජාසනයට පෙරදිගින් සිටියෝ ය. ඔවුන් සමඟ පූජකයෝ එකසිය විසිදෙනෙක් නළා පිඹිමින් සිටියෝ ය.</verse>
				<verse number="13">එවිට පූජකයන් ශුද්ධස්ථානයේ සිට පිටතට අවුත්, සමිඳාණන් වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට නළා පිඹින්නන් හා ගීතිකාකාරයන් සියල්ලන් ම එක ශබ්දයක් ඇසෙන පිණිස එක් කෙනෙකු මෙන් සිට, නළාවලින් ද අත්තල්වලින් ද වෙනත් තූර්ය භාණ්ඩවලින් ද “උන් වහන්සේ යහපත් ය. උන් වහන්සේගේ ස්ථිරසාර ප්‍රේමය සදාකාලයට ම පවත්නේ ය” කියා සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කිරීමෙන් ශබ්ද පැවැත්වූ කල, මාලිගාව එනම්, සමිඳාණන් වහන්සේගේ මාලිගාව වලාපටලයෙන් පිරී ගියේ ය.</verse>
				<verse number="14">ඒ වලාපටලය නිසා සේවය කිරීම පිණිස පූජකයන්ට එහි සිටින්නට බැරි විය. එසේ වූයේ, සමිඳාණන් වහන්සේගේ තේජසින් දෙවියන් වහන්සේගේ මාලිගාව පිරී ගිය බැවිනි.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">එවිට සලමොන් කතා කොට, සමිඳාණන් වහන්සේ වැඩ විසීමට වලාපටල හා ඝනාන්ධකාරය තෝරා ගත් සේක.</verse>
				<verse number="2">එහෙත්, මම ඔබට නිවාසයක් ද සදහට ම ඔබට වැඩ සිටීමට ස්ථානයක් ද ගොඩනැඟුවෙමි”යි කීවේ ය.</verse>
				<verse number="3">රජ තෙමේ සෙනඟ දෙසට හැරී මුළු ඉශ්රායෙල් සභාව නැඟිට සිටිය දී මුළු සභාවට ආශීර්වාද කෙළේ ය.</verse>
				<verse number="4">ඔහු කතා කොට, “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! මන්ද, උන් වහන්සේ ස්වකීය මුඛයෙන් මාගේ පිය වූ දාවිත්ට කතා කොට,</verse>
				<verse number="5">‘මම මාගේ සෙනඟ මිසර දේශයෙන් ගෙනා දවසේ පටන් මාගේ නාමය එහි වන පිණිස මාලිගාවක් ගොඩනඟන්න සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් කිසි නුවරක් තෝරා නොගතිමි. මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා ව සිටින්න කිසි මනුෂ්‍යයෙකු ද තෝරා නොගතිමි.</verse>
				<verse number="6">එහෙත්, මාගේ නාමයේ ගෞරවය රක්ෂා කරන ලෙස ජෙරුසලම ද මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රධානියා වන පිණිස දාවිත් ද තෝරා ගතිමි’යි වදාරා ස්වකීය හස්තයෙන් එය ඉෂ්ට කළ සේක.</verse>
				<verse number="7">“ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්න මාගේ පිය වූ දාවිත්ගේ සිතේ අදහසක් තිබිණි.</verse>
				<verse number="8">එහෙත්, සමිඳාණන් වහන්සේ මාගේ පිය වූ දාවිත්ට කතා කොට, ‘මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්න නුඹේ සිතේ අදහසක් තිබිණි. එය හොඳ දෙයකි.</verse>
				<verse number="9">එහෙත්, නුඹ ඒ මාලිගාව ගොඩනොනඟන්නෙහි ය. නුඹට දාව උපදින නුඹේ පුත්‍රයා මාගේ නාමයට ඒ මාලිගාව ගොඩනඟන්නේ ය’යි වදාළ සේක.</verse>
				<verse number="10">“සමිඳාණන් වහන්සේ තමන් වදාළ වචනය ඉෂ්ට කර තිබේ. මන්ද, සමිඳාණන් වහන්සේ වදාළ හැටියට මම මාගේ පිය වූ දාවිත් වෙනුවෙන් ඉශ්රායෙල් සිංහාසනයේ හිඳ, ඉශ්රායෙල් දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනැඟුවෙමි.</verse>
				<verse number="11">සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් සමඟ කළ ගිවිසුම අඩංගු වූ කරඬුව එහි තැබුවෙමි”යි කීවේ ය.</verse>
				<verse number="12">එවිට සලමොන් මුළු ඉශ්රායෙල් සභාව ඉදිරියෙහි සමිඳාණන් වහන්සේගේ පූජාසනය ඉදිරිපිට සිට තමාගේ අත් විදහාගත්තේ ය.</verse>
				<verse number="13">මන්ද, ඔහු මීටර් දෙකයි දශම දෙකක් දිග ඇති, මීටර් දෙකයි දශම දෙකක් පළල ඇති, මීටර් එකයි දශම තුනක් උස ඇති ලෝකඩ වේදිකාවක් සාදා මළුව මැද තබා තිබුණේ ය. ඔහු එහි සිටගෙන මුළු ඉශ්රායෙල් සභාව ඉදිරියේ දණ නමා, අහස දෙසට තම අත් විදහාගෙන මෙසේ යාච්ඤා කෙළේ ය:</verse>
				<verse number="14">“ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුනි, ස්වර්ගයෙහි වත්, පොළොවෙහි වත් ඔබට සමාන දෙවි කෙනෙක් නැත. ඔබ වනාහි, ඔබ ඉදිරියෙහි තමන්ගේ මුළු සිතින් කීකරු වන ඔබේ මෙහෙකරුවන් සමඟ ගිවිසුමත්, කරුණාවත් පවත්වන සේක.</verse>
				<verse number="15">ඔබේ මෙහෙකරු වූ මාගේ පිය වූ දාවිත්ට ඔබ පොරොන්දු වූ දේ ඔබ ඔහුට ඉෂ්ට කර දුන් සේක. එසේ ය, ඔබ ස්වකීය මුඛයෙන් එය වදාරා අද දවසේ ස්වකීය හස්තයෙන් එය ඉෂ්ට කළ සේක.</verse>
				<verse number="16">එබැවින්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුනි, ඔබ ස්වකීය මෙහෙකරු වූ මාගේ පිය දාවිත්ට කතා කොට, ‘නුඹ මා ඉදිරියෙහි හැසුරුණු පරිදි නුඹේ දරුවෝ මාගේ ව්‍යවස්ථාව පිළිපදින හැටියට තමන්ගේ මාර්ගය ගැන ප්‍රවේසම් වන්නෝ නම්, ඉශ්රායෙල් සිංහාසනයෙහි හිඳීමට මා ඉදිරියෙහි නුඹට කෙනෙක් නැති ව නොයන්නේ ය’යි ඔබ වදාළ කාරණා ඔහුට ඉෂ්ට කළ මැනව.</verse>
				<verse number="17">එබැවින් දැන් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුනි, ඔබේ මෙහෙකරුවා වූ දාවිත්ට ඔබ වදාළ ඔබේ වචනය ස්ථිර වේ වා!</verse>
				<verse number="18">“එහෙත්, දෙවියන් වහන්සේ සැබැවින් ම මනුෂ්‍යයන් සමඟ පොළොවේ වැඩ වසන සේක් ද? ස්වර්ගය ද ස්වර්ගවල ස්වර්ගය ද ඔබට ඉඩ මදි ය; එසේ නම්, මා විසින් ගොඩනඟන ලද මේ මාලිගාව ඊටත් වඩා කොපමණ නොසෑහේ ද!</verse>
				<verse number="19">එහෙත්, මාගේ දෙවි සමිඳුනි, ඔබේ මෙහෙකරුවාගේ යාච්ඤාව ද කන්නලව්ව ද සලකා, ඔබ ඉදිරියෙහි ඔබේ මෙහෙකරුවා ඔප්පු කරන ඉල්ලීම ද යාච්ඤාව ද ඇසුව මැනව.</verse>
				<verse number="20">ඔබ යම් ස්ථානයක් ගැන, ‘මාගේ නාමය එහි තබන්නෙමි’යි වදාළ සේක් ද, ඒ ස්ථානය වන මේ මාලිගාව දෙස ඔබේ ඇස් දිවා රෑ දෙක්හි යොමු වී තිබේ වා! ඔබේ මෙහෙකරුවා මේ ස්ථානය දෙසට හැරී ඔප්පු කරන යාච්ඤාව ඇසුව මැනව.</verse>
				<verse number="21">ඔබේ මෙහෙකරුවා ද ඔබේ සෙනඟ ද වන ඉශ්රායෙල්වරුන් ද මේ ස්ථානය දෙසට හැරී ඔප්පු කරන ඔවුන්ගේ කන්නලව්වට කන් දුන මැනව. එසේ ය, ඔබේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඇසුව මැනව; අසා කමා කළ මැනව.</verse>
				<verse number="22">“යමෙකු තමාගේ අසල්වැසියාට විරුද්ධ ව වරද කොට, ඔහු දිවුරවන පිණිස දිවුරුමක් ඔහු පිට තබන ලදුව, ඔහු අවුත් මේ ගෘහයේ ඔබේ පූජාසනය ඉදිරිපිට දිවුළහොත්,</verse>
				<verse number="23">ඔබ ස්වර්ගයෙහි සිට එය අසා වදාරමින් ක්‍රියා කළ මැනව; ඔබේ මෙහෙකරුවන් විනිශ්චය කළ මැනව; වරදකරු හට ඔහුට නිසි විපාකය අනුව දඬුවම් කළ මැනව; නිවැරැදිකරු හට ඔහුගේ නිදොස්කම අනුව විපාක දුන මැනව.</verse>
				<verse number="24">“ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් ඔබට විරුද්ධ ව පව් කළ බැවින් සතුරා ඉදිරියෙහි ඔවුන් පරාජය වූ කල, ඔව්හු ඔබ වෙත හැරී ඔබේ නාමය ප්‍රකාශ කර මේ මාලිගාවෙහි දී ඔබට යාච්ඤා කොට කන්නලව් කරන්නෝ නම්,</verse>
				<verse number="25">ඔබ ස්වර්ගයෙහි සිට එය අසා, ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ පාපය කමා කොට, ඔවුන්ටත්, ඔවුන්ගේ පියවරුන්ටත් ඔබ දුන් දේශයට ඔවුන් නැවත පැමිණෙවුව මැනව.</verse>
				<verse number="26">“ඔවුන් ඔබට විරුද්ධ ව පව් කළ බැවින්, අහස පිය වී වර්ෂාව නැති ව ගොස්, ඔබ ඔවුන්ට මෙසේ දඬුවම් කරන කල, ඔව්හු මේ ස්ථානය දෙසට හැරී යාච්ඤා කොට, ඔබේ නාමය ප්‍රකාශ කර, තමන්ගේ පාපය අත්හරින්නෝ නම්, ඔබ ස්වර්ගයෙහි සිට අසා,</verse>
				<verse number="27">ඔවුන් යා යුතු යහපත් මාර්ගය ඔවුන්ට පෙන්නා දුන් කල, ඔබේ මෙහෙකරුවන් හා ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ පාපයට කමා වී, උරුමයක් කොට ඔබේ සෙනඟට ඔබ දී තිබෙන දේශයට වර්ෂාව එවුව මැනව.</verse>
				<verse number="28">“දේශයට සාගතයක් නොහොත් වසංගතයක් පැමිණියොත්, වැසි නැත්නම්, ගොයම් වියළී යාම හෝ ගොයම් රෝගය, පළඟැටියන් හෝ දළඹුවන් හෝ පැමිණීම සිදු වුවහොත්, ඔවුන්ගේ දේශයේ නගර ඔවුන්ගේ සතුරන් විසින් ඔවුන් වටලාගනු ලබන්න හෝ යම්කිසි පීඩාවක් හෝ රෝගයක් හෝ පමුණුවනු ලබන්න යෙදුණොත්,</verse>
				<verse number="29">කොයි මනුෂ්‍යයෙකු විසින් හෝ ඔබේ මුළු සෙනඟ වන ඉශ්රායෙල් විසින් හෝ තම තමන්ගේ සිත්වල සෝදුකින් මේ මාලිගාව දෙසට තමන්ගේ අත් විදහාගෙන යම් යාච්ඤාවක් හෝ කන්නලව්වක් හෝ ඔප්පු කරනු ලැබුවහොත්,</verse>
				<verse number="30">ඔබේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට ඒවා අසා කමා වුව මැනව: සෑම මනුෂ්‍යයෙකුගේ ම සිත් ඔබ පමණක් දන්න සේක. ඔබ එකිනෙකාට සුදුසු පරිදි ඒවා ඉෂ්ට කර දුන මැනව.</verse>
				<verse number="31">එවිට ඔබ අපේ පියවරුන්ට දුන් භූමිය මතු පිට ඔවුන් ජීවත් වන මුළු කාලයේ දී ඔව්හු ඔබ කෙරෙහි බිය වී ඔබේ මාර්ගවල ගමන් කරන්නෝ ය.</verse>
				<verse number="32">“තවද, ඔබේ සෙනඟ වන ඉශ්රායෙල් ජාතිකයෙකු නොවන විදේශිකයෙකු ඔබේ උතුම් නාමයත්, ප්‍රබල බාහුවත්, දිගු කළ හස්තයත් නිසා, දුර රටක සිට අවුත් මේ මාලිගාව දෙසට හැරී යාච්ඤා කළොත්,</verse>
				<verse number="33">ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් මෙන් පොළොවේ සියලු සෙනඟ ද ඔබේ නාමය හැඳිනගෙන ඔබ කෙරෙහි ගරුබිය දක්වන පිණිසත්, මා විසින් ගොඩනඟන ලද මේ මාලිගාවට ඔබේ නාමය තබා තිබෙන බව දැනගන්න පිණිසත් ඔබේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට අසා, විදේශිකයා ඔබෙන් ඉල්ලන සියල්ල ලෙස ඔහුට ඉටු කළ මැනව.</verse>
				<verse number="34">“ඔබේ සෙනඟ තමන්ගේ සතුරන්ට විරුද්ධ ව යුද්ධ කරන්න ඔබ විසින් යවනු ලබන යම් මාර්ගයකින් ගොස්, ඔබ තෝරාගත් නුවර ද ඔබේ නාමයට මා විසින් ගොඩනඟන ලද මාලිගාව ද දෙසට හැරී ඔබට යාච්ඤා කරන්නෝ නම්,</verse>
				<verse number="35">ඔබ ස්වර්ගයේ සිට ඔවුන්ගේ යාච්ඤාව ද කන්නලව්ව ද අසා ඔවුන්ට යුක්තිය ඉටු කළ මැනව.</verse>
				<verse number="36">“තවද, පව් නොකරන කෙනෙකු නැති බැවින් ඔවුන් ඔබට විරුද්ධ ව පව් කළොත්, ඔබ ඔවුන් කෙරෙහි උදහස් වී ඔවුන්ගේ සතුරන්ට ඔවුන් පාවා දී ඔවුන් වහල්කමට ගන්න අය විසින් දුර හෝ ළඟ හෝ තිබෙන දේශයකට ඔවුන් ගෙනයනු ලැබූ පසු,</verse>
				<verse number="37">ඔවුන් වහලුන් කොට ගෙනයනු ලැබූ දේශයෙහි දී ඔවුන් එය සිතට ගෙන පසුතැවී සිත් හරවා ගෙන එම දේශයේ දී ඔබට කන්නලව් කර, ‘අපි පව් කෙළෙමු; අපි හිතුවක්කාරකම් කොට දුෂ්ට ලෙස ක්‍රියා කෙළෙමු’යි කියමින්,</verse>
				<verse number="38">ඔවුන් වහල්කමට ගෙන ගිය අයගේ දේශයෙහි දී ඔවුන්ගේ මුළු හෘදයෙන් ද මුළු ආත්මයෙන් ද ඔබ දෙසට හැරී, ඔබ ඔවුන්ගේ පියවරුන්ට දුන් ඔවුන්ගේ දේශය ද ඔබ තෝරාගත් නුවර ද ඔබේ නාමයට මා විසින් ගොඩනඟන ලද මාලිගාව ද දෙසට හැරී ඔව්හු යාච්ඤා කරන්නෝ නම්,</verse>
				<verse number="39">ඔබේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඔබ ඔවුන්ගේ යාච්ඤාව ද කන්නලව්ව ද අසා ඔවුන්ට යුක්තිය ඉටු කළ මැනව, ඔබට විරුද්ධ ව පව් කළ ඔබේ සෙනඟට කමා වුව මැනව.</verse>
				<verse number="40">“දැන්, මාගේ දෙවියන් වහන්ස, මේ ස්ථානයෙහි දී කරන යාච්ඤාවට ඔබේ ඇස් ඇරී, ඔබේ කන් යොමු වී තිබේ වා!</verse>
				<verse number="41">ඉතින්, දෙවි සමිඳුනි, ඔබ නැඟිට ඔබේ බලයේ සංකේතය වන ගිවිසුම් කරඬුව සමඟ ඔබේ නිවාසයට වැඩිය මැනව. දෙවි සමිඳුනි, ඔබේ පූජකයෝ ගැළවීමේ සළුව පැළඳගෙන සිටිත් වා! ඔබේ සැදැහැවත්හු ද යස ඉසුරින් ප්‍රීති වෙත් වා!</verse>
				<verse number="42">දෙවි සමිඳුනි, ඔබේ අභිෂේක ලත් තැනැත්තා වෙතින් අහකට නොහැරෙනු මැනව. ඔබේ මෙහෙකරු වූ දාවිත්ට ඔබ දැක්වූ කරුණාව ප්‍රසාදයෙන් සිහි කළ මැනව.”</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">සලමොන් යාච්ඤා කර නිම කළ විට අහසින් ගිනි බැස අවුත් දවන යාග පූජාව ද යාගයන් ද දවාදැමී ය. සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරයෙන් මාලිගාව පිරී ගියේ ය.</verse>
				<verse number="2">සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරයෙන් උන් වහන්සේගේ මාලිගාව පිරී තිබුණු නිසා පූජකයන්ට ඒ මාලිගාවට ඇතුල් වන්න බැරි විය.</verse>
				<verse number="3">සියලු ඉශ්රායෙල්වරු ගිනි බසිනවාත් සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරය මාලිගාව පිට තිබෙනවාත් දැක, ගල් ඇල්ලූ බිමට තමන්ගේ හිස් නමා නමස්කාර කොට, “උන් වහන්සේ යහපත් ය; උන් වහන්සේගේ කරුණාව සදහට පවත්නේ ය”යි කියමින් සමිඳාණන් වහන්සේට ස්තුති කළෝ ය.</verse>
				<verse number="4">ඉන්පසු ව රජ ද මුළු සෙනඟ ද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජා ඔප්පු කළහ.</verse>
				<verse number="5">සලමොන් රජ ගවයන් විසිදෙදහසක් ද බැටළුවන් එක්ලක්ෂ විසිදහසක් ද ඔප්පු කෙළේ ය. මෙසේ රජ ද මුළු සෙනඟ ද දෙවියන් වහන්සේගේ මාලිගාව කැප කළහ.</verse>
				<verse number="6">පූජකයෝ ද තම තමන්ගේ තනතුරුවල යෙදී සිටියහ. ලෙවීවරුත් සමිඳාණන් වහන්සේගේ තූර්ය භාණ්ඩ රැගෙන සිටියෝ ය. ඔව්හු දාවිත් රචිත ගී ගයමින්, “සමිඳාණන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය”යි කියමින් උන් වහන්සේට ප්‍රශංසා කළහ. උන් වහන්සේට ස්තුති කිරීමට දාවිත් විසින් ඒවා රචනා කරනු ලැබ තිබිණි. පූජකයෝ ද ඔවුන් ඉදිරිපිටින් සිටගෙන නළා පිම්බෝ ය; සියලු ඉශ්රායෙල්වරු ද නැඟිට සිටියහ.</verse>
				<verse number="7">තවද, සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාව ඉදිරිපිට තිබුණු මිදුලේ මැදභාගය විශුද්ධ කෙළේ ය. මන්ද, ඔහු දවන යාග පූජා ද සහභාගිකමේ පූජාවල තෙල ද එහි ඔප්පු කළ බැවිනි. එසේ කෙළේ, සලමොන් සෑදූ ලෝකඩ පූජාසනය දවන යාග පූජාව ද ආහාර පූජාව ද තෙල ද තැබීමට ප්‍රමාණවත් නොවූ නිසා ය.</verse>
				<verse number="8">මෙසේ ඒ කාලයේ දී සලමොන් ද ඔහු සමඟ සියලු ඉශ්රායෙල්වරු ද හමාත්ට ඇතුළු වන තැන පටන් මිසරයේ ඔය දක්වා සිට පැමිණි ඉතා විශාල සමූහයක් ද මංගල්‍යය පැවැත්වූ හ.</verse>
				<verse number="9">අට වන දා ඔව්හු මංගල්‍ය රැස්වීමක් පැවැත්වූ හ. මන්ද, ඔවුන් සත් දවසක් පූජාසනය කැප කිරීම ද සත් දවසක් මංගල්‍යය ද පැවැත්වූ බැවිනි.</verse>
				<verse number="10">සත් වන මාසයේ විසිතුන් වන දා ඔහු සෙනඟ තම තමන්ගේ කූඩාරම්වලට යන්නට හැරියේ ය. ඔව්හු ද සමිඳාණන් වහන්සේ දාවිත්ටත්, සලමොන්ටත්, තමන්ගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ටත් කළ යහපත ගැන ප්‍රීති සන්තෝෂ වෙමින් යන්න ගියෝ ය.</verse>
				<verse number="11">මෙසේ සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද රජ මැදුර ද සාදා නිම කෙළේ ය. උන් වහන්සේගේ මාලිගාවෙහිත්, තමාගේ ම රජ මැදුරෙහිත් කරන්න අදහස් කළ සියල්ල සලමොන් ඉෂ්ට කෙළේ ය.</verse>
				<verse number="12">එවිට සමිඳාණන් වහන්සේ රාත්‍රියේ සලමොන්ට දර්ශනය වී මෙසේ වදාළ සේක: “මම නුඹේ යාච්ඤාව අසා මේ ස්ථානය මට පූජාසනයක් කොට තෝරාගතිමි.</verse>
				<verse number="13">වැසි නොවසින ලෙස මම අහස වසාලන්නෙම් නම්, නොහොත් රට පාළු කිරීමට පළඟැටියන්ට අණ කරන්නෙම් නම්, නොහොත් මාගේ සෙනඟ අතරට වසංගතය එවන්නෙම් නම්,</verse>
				<verse number="14">මාගේ නාමය දරන මාගේ සෙනඟ බැගෑපත් වී, යාච්ඤා කර, මා සොයා තමන්ගේ නපුරු මාර්ග අත්හැරියොත්, මම ස්වර්ගයේ සිට එය අසා, ඔවුන්ගේ පව් කමා කොට ඔවුන්ගේ දේශයට සෙත සලසන්නෙමි.</verse>
				<verse number="15">දැන් ද මින් ඉදිරියට ද මේ ස්ථානයේ දී කරන යාච්ඤාවට මාගේ ඇස් ඇර, මාගේ කන් යොමු කරනු ලැබේ.</verse>
				<verse number="16">දැන් ද ඉදිරියට ද මාගේ නාමය මේ මාලිගාවෙහි සදහට ම තිබෙන පිණිස මෙය තෝරාගෙන විශුද්ධ කෙළෙමි. මාගේ නෙත් ද මාගේ සිත ද නිතර ම මෙතැනට යොමු වී තිබෙන්නේ ය.</verse>
				<verse number="17">ඉතින්, නුඹේ පිය දාවිත් හැසුරුණ පරිදි නුඹ මා ඉදිරියෙහි හැසිරෙමින්, මා විසින් නුඹට අණ කරන ලද සියල්ල කරමින්, මාගේ පණත් ද විනිශ්චයයන් ද පිළිපදින්නෙහි නම්,</verse>
				<verse number="18">ඉශ්රායෙල්හි ආණ්ඩුකාරයෙකු වීමට නුඹෙන් කෙනෙක් නැති ව නොයන්නේ ය කියා මා නුඹේ පිය දාවිත්ට පොරොන්දු වූ ලෙස නුඹේ රාජ්‍යයේ සිංහාසනය ස්ථිර කරන්නෙමි.</verse>
				<verse number="19">එහෙත්, නුඹලා මා වෙතින් ඉවත් ව ගොස්, මා නුඹලා ඉදිරියෙහි තබා තිබෙන මාගේ පණත් ද ආඥා ද අත්හැර ගොස්, වෙන දෙවිවරුන්ට වැඳුම්පිදුම් කර ඔවුන්ට නමස්කාර කරන්නහු නම්,</verse>
				<verse number="20">මා ඔවුන්ට දී තිබෙන මාගේ දේශයෙන් මම ඔවුන් සහමුලින් ම පහකරන්නෙමි. මාගේ නාමයට මා විශුද්ධ කළ මේ මාලිගාව මාගේ ඇස් හමුයෙන් පහකර දමන්නෙමි. එය සියලු ජාතීන් අතරේ විහිළුවක් ද උපහාසයක් ද නටබුන් ගොඩක් ද වනු ඇත.</verse>
				<verse number="21">“මේ මාලිගාව ළඟින් යන සියල්ලෝ විස්මයට පත් ව, ‘සමිඳාණන් වහන්සේ මේ දේශයටත්, මේ මාලිගාවටත් කුමක් නිසා මෙසේ කළ සේක් දැ’යි අසන්නෝ ය.</verse>
				<verse number="22">එවිට මනුෂ්‍යයන් කතා කොට, ‘ඔවුන් මිසර දේශයෙන් ගෙන ආ ඔවුන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත්හැර, අන් දෙවිවරුන්ට ඇළුම් ව, ඔවුන්ට නමස්කාර කොට වැඳුම්පිදුම් කළ නිසා, උන් වහන්සේ මේ සියලු විපත්ති ඔවුන් පිට පැමිණෙවූ සේකැ’යි කියනු ඇත.”</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">සලමොන් රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද තමාගේ රජ මැදුර ද ගොඩනැඟීමට ගත කළ විසි අවුරුද්දට පසු,</verse>
				<verse number="2">හූරාම් විසින් සලමොන්ට දෙන ලද නගර ඔහු ගොඩනඟා ඒවායේ ඉශ්රායෙල්වරුන් වාසය කරවී ය.</verse>
				<verse number="3">සලමොන් හමාත්-ශෝබාට ගොස් එය යටත් කර ගත්තේ ය.</verse>
				<verse number="4">ඔහු පාළුකරයෙහි තද්මොර් ද හමාත්හි ගොඩනැඟුවා වූ ගබඩා-නගර සියල්ල ද ඉදි කෙළේ ය.</verse>
				<verse number="5">එසේ ම ඉහළ බෙත්-හෝරන් ද පහළ බෙත්-හෝරන් ද යන පවුරු, දොරටු හා අගුල් ඇති බලකොටු සහිත නගර ද</verse>
				<verse number="6">බාලාත් නගරය ද සලමොන්ට තිබුණ සියලු ගබඩා-නගර ද තමාගේ රථවලට සියලු නගර ද තමාගේ අසරුවන්ට නගර ද තමාගේ සතුට පිණිස ඉදි කරන්න කැමැති වූ සියල්ල ද ජෙරුසලමෙහිත්, ලෙබනොන්හිත්, තමාගේ ආණ්ඩුවට අයත් මුළු දේශයෙහිත් ගොඩනැඟුවේ ය.</verse>
				<verse number="7">ඉශ්රායෙල්වරුන්ගෙන් නොවූ, ඉශ්රායෙල්වරුන් විනාශ නොකළ හිත්තීවරුන්ගෙන් ද අමෝරිවරුන්ගෙන් ද පෙරිස්සිවරුන්ගෙන් ද,</verse>
				<verse number="8">හිවීවරුන්ගෙන් ද ජෙබුසිවරුන්ගෙන් ද ඉතිරි ව සිටි ඔවුන්ගේ පුත්‍රයන් සලමොන් අද දවස දක්වා රාජකාරියට ගත්තේ ය.</verse>
				<verse number="9">එහෙත්, සලමොන් ඉශ්රායෙල්වරුන්ගෙන් කිසිවෙකු තමාගේ වැඩට දාසයෙකු කොට පත් නොකෙළේ ය. ඔව්හු වනාහි යුද්ධ භටයන් ව ඔහුගේ අධිපතියන් ව, ඔහුගේ රථාධිපතියන් ව, ඔහුගේ අසරුවන් ව සිටියෝ ය.</verse>
				<verse number="10">සෙනඟ ආණ්ඩු කළා වූ ප්‍රධාන නිලධාරීහු දෙසිය පණස්දෙනෙකුත් සලමොන් රජුට සිටියෝ ය.</verse>
				<verse number="11">සලමොන් වනාහි පාරාවෝගේ දුව දාවිත්ගේ නුවරින් කැඳවාගෙන විත්, ඇය සඳහා ගොඩනැඟුවා වූ මාලිගාවට ඇය ගෙනාවේ ය. මන්ද, “සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව පැමිණි ස්ථාන ශුද්ධ බැවින් මාගේ භාර්යාවක ඉශ්රායෙල් රජ වූ දාවිත්ගේ මාලිගාවෙහි නොවිසිය යුතු ය”යි ඔහු කීවේ ය.</verse>
				<verse number="12">එකල සලමොන් ද්වාර මණ්ඩපය ඉදිරිපිට තමා ගොඩනඟා තිබූ සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිට උන් වහන්සේට දවන යාග පූජා ඔප්පු කෙළේ ය.</verse>
				<verse number="13">සබත් දවස්වල දී ද අමාවක්වල දී ද නියම මංගල්‍යවල දී ද අවුරුද්දට තුන් වතාවක් පවත්වන මුහුන් නැති රොටි මංගල්‍යයේ දී ද සති මංගල්‍යයේ දී ද කූඩාරම් මංගල්‍යයේ දී ද මෝසෙස්ගේ ආඥාවේ හැටියට එක එක දවසට සුදුසු ලෙස ඔහු පූජා ඔප්පු කෙළේ ය.</verse>
				<verse number="14">තවද, ඔහු තමාගේ පිය වූ දාවිත්ගේ නියෝගය ලෙස පූජක පන්ති ඔවුන්ගේ සේවයට ද ලෙවීවරුන් එක එක දවසට සුදුසු ලෙස පූජකයන් ඉදිරියෙහි සේවය කිරීමත්, ප්‍රශංසා කිරීමත් යන ඔවුන්ට භාර වූ වැඩට ද දොරටු පාලකයන් ඔවුන්ගේ පන්තිවල හැටියට එක එක දොරටුවට ද නියම කෙළේ ය. මන්ද, දෙවියන් වහන්සේට කැප මනුෂ්‍යයා වූ දාවිත් මෙසේ අණ කර තිබූ බැවිනි.</verse>
				<verse number="15">කොයි කාරණයක් ගැන වත්, අගනා වස්තු ගැන වත් පූජකයන්ට සහ ලෙවීවරුන්ට රජු දුන් ආඥාවෙන් ඔව්හු ඉවත් නො වූ හ.</verse>
				<verse number="16">සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම දැමූ දවස දක්වාත්, එය නිම වන තුරුත් සලමොන්ගේ සියලු වැඩ සූදානම් ව තිබුණේ ය. මෙසේ සමිඳාණන් වහන්සේගේ මාලිගාව සම්පූර්ණ විය.</verse>
				<verse number="17">එකල සලමොන් ඒදොම් දේශයේ මුහුදුබඩ තිබෙන එශියොන්-ගෙබෙර් සහ ඒලෝත් යන නගරවලට ගියේ ය.</verse>
				<verse number="18">හූරාම් තමාගේ සේවකයන්ගේ මෙහෙයීම යටතේ නැව් ද මුහුදේ තතු දන්න සේවකයන් ද ඔහු වෙත එවුවේ ය. ඔව්හු සලමොන්ගේ සේවකයන් සමඟ ඕපීර් දේශයට ගොස් එතැනින් රන් කිලෝග්‍රෑම් පසළොස්දහසක් සලමොන් රජු වෙත ගෙනාවෝ ය.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">ෂෙබාහි රැජින සලමොන්ගේ කීර්තිය අසා, ගැටලු ප්‍රශ්නවලින් ඔහු පිරික්සන පිණිස ඉතා විශාල පිරිවරක් ද සුවඳ ද්‍රව්‍ය සහ රන් මහා රාශියකුත්, මැණික් ගලුත් පටවන ලද ඔටුවන් ද ඇති ව ජෙරුසලමට ආවා ය. ඈ සලමොන් වෙත පැමිණ ඇගේ සිතේ තිබුණු සියල්ල ගැන ඔහු සමඟ කතා කළා ය.</verse>
				<verse number="2">සලමොන් ද ඇගේ සියලු ප්‍රශ්න ඈට විසඳා දුන්නේ ය. ඈට තෝරා දිය නොහැකි කිසි ප්‍රශ්නයක් රජුට නො වී ය.</verse>
				<verse number="3">සලමොන්ගේ ප්‍රඥා මහිමය ද ඔහු විසින් ගොඩනඟන ලද මාලිගාව ද ඔහුගේ මේසයේ කෑම ද,</verse>
				<verse number="4">ඔහුගේ මෙහෙකරුවන්ගේ වාසස්ථාන හා ඔහුගේ ඇමතියන්ගේ සේවය ද ඔවුන්ගේ ඇඳුම් ද ඔහුගේ පානපාත්‍ර දරන්නන් හා ඔවුන්ගේ ඇඳුම් ද ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඔප්පු කළ දවන යාග පූජා ද දුටු කල ෂෙබාහි බිසව තුෂ්ණීම්භූත වූවා ය.</verse>
				<verse number="5">ඈ රජුට කතා කොට, “මාගේ දේශයේ දී මා ඔබේ ප්‍රඥා මහිමය ද ඔබ ද ගැන ඇසූ ප්‍රවෘත්තිය සැබෑ ය.</verse>
				<verse number="6">එසේ වී නමුත්, මා අවුත් මාගේ ම ඇස්වලින් දකින තුරු ඔවුන්ගේ වචන විශ්වාස නොකෙළෙමි. ඔබේ ප්‍රඥා මහිමයේ විශාලත්වයෙන් අර්ධයක් වත් මට නොකියන ලද්දේ ය. මා ඇසූ කීර්තියේ පමණටත් වඩා ඔබ උසස් ව සිටින්නෙහි ය.</verse>
				<verse number="7">ඔබේ භාර්යාවෝ වාසනාවන්තියෝ ය. ඔබ ඉදිරියෙහි නිතර ම සිට ඔබේ ප්‍රඥාව අසන ඔබේ මේ මෙහෙකරුවෝ වාසනාවන්තයෝ ය.</verse>
				<verse number="8">ඉශ්රායෙල්වරුන්ගේ සිංහාසනයට ඔබ පත් කරන පිණිස ඔබ කෙරෙහි ප්‍රසන්න වූ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! ඔබේ දෙවියන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ට ප්‍රේම කළ බැවින්, ඔවුන් සදහට ම ස්ථිර කරන පිණිස ඔවුන්ට විනිශ්චයත්, යුක්තියත් ඉෂ්ට කරන්න උන් වහන්සේගේ නාමයෙන් ඔබ ඔවුන්ගේ රජ කොට පත් කළ සේකැ”යි කීවා ය.</verse>
				<verse number="9">තවද, ෂෙබාහි රැජින රන් කිලෝග්‍රෑම් හාරදහසක් පමණ ද සුගන්ධ ද්‍රව්‍ය මහා රාශියක් ද මැණික් ගල් ද රජුට දුන්නා ය. ෂෙබාහි රැජින සලමොන් රජුට දුන් සුගන්ධ ද්‍රව්‍යවලට සමාන ඒවා තවත් නොලැබුණේ ය.</verse>
				<verse number="10">ඕපීර් සිට රන් ගෙනා හූරාම්ගේ සේවකයෝ ද සලමොන්ගේ සේවකයෝ ද හඳුන් ලී සහ මැණික් ගල් ගෙනාවෝ ය.</verse>
				<verse number="11">රජ ඒ හඳුන් ලීවලින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහිත්, රජ මැදුරෙහිත් පඩිපෙළවල් ද ගායකයන්ට වීණා සහ කුඩා වීණා ද සෑදෙව්වේ ය. ඊට කලින් එබඳු ඒවා ජුදා දේශයේ නොදක්නා ලදී.</verse>
				<verse number="12">ෂෙබාහි රැජින සලමොන් රජුට ගෙනා දේවල් වෙනුවට දුන් ඒවා හැර, ඈ සිතූපැතූ සියල්ලත් රජතුමා ඈට දුන්නේ ය. ඉන්පසු ඇගේ සේවකයෝත්, ඈත් හැරී තමන්ගේ දේශයට යන්නට ගියෝ ය.</verse>
				<verse number="13">සලමොන් රජුට ව්‍යාපාරික වෙළෙන්දන්ගෙන් ද වෙනත් වෙළෙන්දන්ගෙන් ද ලැබුණු රත්රන් හැර, අවුරුද්දකට ලැබුණු රත්රන්වල බර කිලෝග්‍රෑම් විසිතුන්දහසක් පමණ වේ.</verse>
				<verse number="14">අරාබියේ සියලු රජවරු ද දේශයේ ආණ්ඩුකාරයෝ ද සලමොන්ට රන් රිදී ගෙනාවෝ ය.</verse>
				<verse number="15">සලමොන් රජ තැළූ රනින් පලිස් දෙසියයක් සෑදී ය. එක එක පලිහක තැළූ රන් කිලෝග්‍රෑම් සතක් විය.</verse>
				<verse number="16">ඔහු කුඩා පලිස් තුන්සියයක් ද තැළූ රනින් සෑදුවේ ය. එක එක කුඩා පලිහක රන් කිලෝග්‍රෑම් තුනක් විය. රජ ලෙබනොන් ආරණ්‍ය ශාලාවෙහි ඒවා තැබී ය.</verse>
				<verse number="17">තවද, රජ ඇත් දත්වලින් විශාල සිංහාසනයක් සාදා තනිකර රනින් එය ආලේප කෙළේ ය.</verse>
				<verse number="18">සිංහාසනයට සවි කළ පඩි හයක් ද රන් පා පුටුවක් ද ආසනයේ දෙපැත්තෙහි අත් දඬු ළඟ සිංහ රූප දෙකක් ද තිබිණි.</verse>
				<verse number="19">පඩිවල පිට දෙපැත්තේ සිංහ රූප දොළොසක් ද විය. කිනම් රාජ්‍යයකට වත් එයාකාර සිංහාසනයක් නො වී ය.</verse>
				<verse number="20">සලමොන් රජුගේ පාන පාත්‍ර සියල්ල ම රනින් විය. ලෙබනොන් ආරණ්‍ය ශාලාවෙහි සියලු භාජනත් තනිකර රනින් විය. සලමොන්ගේ කාලයේ දී රිදී අගය නොකරන ලදී.</verse>
				<verse number="21">මන්ද, හූරාම්ගේ සේවකයන් සමඟ තර්ෂිෂ්ට යන නැව් රජුට තිබිණි. ඒ තර්ෂිෂ් නැව්වලින් රන් ද රිදී ද ඇත් දත් ද වඳුරන් ද රිළවුන් ද තුන් අවුරුද්දකට වරක් ගෙනෙන ලද බැවිනි.</verse>
				<verse number="22">මෙසේ සලමොන් රජ ධන සම්පතින් ද ප්‍රඥාවෙන් ද මිහි පිට සියලු රජවරුන්ට වඩා ශ්‍රේෂ්ඨ ව සිටියේ ය.</verse>
				<verse number="23">දෙවියන් වහන්සේ සලමොන්ගේ සිතේ නිදන් කර තිබූ ප්‍රඥාව අසන පිණිස මිහි පිට සියලු රජවරු ඔහු වෙත පැමිණියහ.</verse>
				<verse number="24">ඔව්හු අවුරුද්දෙන් අවුරුද්ද තම තමන්ගේ තෑගි වන රිදී භාජන ද රන් භාජන ද වස්ත්‍ර ද යුද්ධායුධ ද සුගන්ධ ද්‍රව්‍ය ද අශ්වයන් ද කොටළුවන් ද නියම ගණනක් ගෙනාවෝ ය.</verse>
				<verse number="25">සලමොන් රජුට අශ්වයන් සහ රථ සඳහා ගාල් හාරදහසක් තිබිණි. අසරුවෝ දොළොස්දහසකුත් සිටියෝ ය. රජ ඒවා රථ නවත්වන නගරවල ද තමා ළඟ ජෙරුසලමෙහි ද තැබුවේ ය.</verse>
				<verse number="26">ඔහු යුප්‍රටීස් ගංගාවේ පටන් පිලිස්තිවරුන්ගේ දේශය සහ මිසරයේ සීමාව දක්වා සිටි සියලු රජවරුන් පාලනය කෙළේ ය.</verse>
				<verse number="27">තවද, රජ ජෙරුසලමෙහි රිදී ගල් මෙන් ද, කිහිරි ලී පහත රටේ තිබෙන අත්තික්කා ගස් මෙන් ද ගණනින් වැඩිවන්නට සැලැස්සුවේ ය.</verse>
				<verse number="28">මිසරයෙනුත්, සියලු දේශවලිනුත් සලමොන් වෙත අශ්වයෝ ගෙනෙන ලදහ.</verse>
				<verse number="29">සලමොන් රජුගේ සෙසු ක්‍රියා මුල පටන් අග දක්වා, දිවැසිවර නාතාන්ගේ ඉතිහාසයේ ද ෂිලෝනීය අහියාගේ දිවැස් වැකියේ ද නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් ගැන දිවැස් ඇත්තා වන ඉද්දෝ ලියූ දර්ශන ග්‍රන්ථයේ ද ලියා තිබෙනු නොවේ ද?</verse>
				<verse number="30">සලමොන් මුළු ඉශ්රායෙල් ජාතිය හතළිස් අවුරුද්දක් ජෙරුසලමෙහි පාලනය කෙළේ ය.</verse>
				<verse number="31">සලමොන් මියගොස් තමාගේ පිය වූ දාවිත්ගේ නුවර තැන්පත් කරනු ලැබී ය. ඔහුගේ පුත් රෙහොබෝවම් ඔහු වෙනුවට රජ විය.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">තවද, රෙහොබෝවම් ෂෙකෙම් නුවරට ගියේ ය. මන්ද, ඔහු රජකමට පත් කරන පිණිස සියලු ඉශ්රායෙල්වරුන් ෂෙකෙම් නුවරට පැමිණ සිටි බැවිනි.</verse>
				<verse number="2">සලමොන් රජු ඉදිරියෙන් පලා ගොස් සිටි නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් මිසරයේ දී ඒ බව අසා මිසරයෙන් හැරී ආයේ ය.</verse>
				<verse number="3">ඔව්හු පණිවුඩයක් යවා ඔහු ගෙන්වාගත්හ. එවිට ජෙරොබෝවම් ද සියලු ඉශ්රායෙල්වරු ද අවුත් රෙහොබෝවම්ට කතා කොට,</verse>
				<verse number="4">“ඔබ පියාණෝ අපේ වියගහ බර කළහ. ඒ නිසා ඔබේ පියාණන්ගේ අමාරු සේවය ද ඔහු අප පිට තැබූ ඔහුගේ බර වියගහ ද සැහැල්ලු කළ මැනව. එවිට අපි ඔබට සේවය කරන්නෙමු”යි කීවෝ ය.</verse>
				<verse number="5">ඔහු උත්තර දෙමින්, “ඔබ තුන් දවසකින් නැවත මා ළඟට එන්නැ”යි ඔවුන්ට කීවේ ය. සෙනඟ ද යන්න ගියෝ ය.</verse>
				<verse number="6">රෙහොබෝවම් රජ තමාගේ පිය වූ සලමොන් ජීවත් ව සිටිය දී ඔහුගේ සේවයෙහි සිටි ප්‍රජා මූලිකයන් සමඟ සම්මන්ත්‍රණය කරමින්, “මා මේ සෙනඟට උත්තර දෙන පිණිස ඔබ සාකච්ඡා කොට මට කියන්නේ කුමක් දැ”යි ඇසුවේ ය.</verse>
				<verse number="7">ඔව්හු කතා කොට, “ඔබ මේ සෙනඟට කරුණාවන්ත ව, ඔවුන් ප්‍රසන්න කොට, ප්‍රිය මනාප වචන ඔවුන්ට කතා කළොත්, ඔවුන් සෑම කල්හි ම ඔබේ මෙහෙකරුවන් වනු ඇතැ”යි ඔහුට කීවෝ ය.</verse>
				<verse number="8">එහෙත්, ප්‍රජා මූලිකයන් ඔහුට දුන් දැනුමැතිකම ඔහු අත්හැර, තමා සමඟ වැඩුණු, තමාගේ සේවයෙහි සිටි තරුණයන් සමඟ සම්මන්ත්‍රණය කරමින්,</verse>
				<verse number="9">“ ‘ඔබේ පියා අප පිට තැබූ වියගහ සැහැල්ලු කළ මැනවැ’යි මට කී මේ සෙනඟට උත්තර දෙන පිණිස ඔබ සාකච්ඡා කොට මට කියන්නේ කුමක් දැ”යි ඔවුන්ගෙන් ඇසුවේ ය.</verse>
				<verse number="10">ඔහු සමඟ වැඩුණු තරුණයෝ ඔහුට කතා කොට, “ ‘ඔබේ පියා අපේ වියගහ බර කෙළේ ය; එහෙත්, ඔබ එය අපට සැහැල්ලු කළ මැනවැ’යි ඔබට කී ඒ සෙනඟට කතා කොට, ‘මාගේ පියාගේ තුනටියට වඩා මාගේ හුළැඟිල්ල ලොකු ය.</verse>
				<verse number="11">මාගේ පියා ඔබ පිට බර වියගහක් තැබී ය. මම ඔබේ වියගහ වඩා බර කරන්නෙමි. මාගේ පියා කසවලින් ඔබට දඬුවම් කෙළේ ය. මම වනාහි කටු කසවලින් දඬුවම් කරන්නෙමි’ කියා කිව යුතු ය”යි දැන්වූහ.</verse>
				<verse number="12">‘තුන් වන දා නැවත මා ළඟට එන්නැ’යි රජු කී හැටියට ජෙරොබෝවම් ද මුළු සෙනඟ ද තුන් වන දා රෙහොබෝවම් ළඟට ආවෝ ය.</verse>
				<verse number="13">රජ ප්‍රජා මූලිකයන්ගේ අවවාද අත්හැර,</verse>
				<verse number="14">තරුණයන්ගේ අවවාද ප්‍රකාර ඔවුන්ට තදින් කතා කොට, උත්තර දෙමින්, “මාගේ පියා ඔබේ වියගහ බර කෙළේ ය, මම එය වඩා බර කරන්නෙමි. මාගේ පියා කසවලින් ඔබට දඬුවම් කෙළේ ය, මම ඔබට කටු කසවලින් දඬුවම් කරන්නෙමි”යි කීවේ ය.</verse>
				<verse number="15">මෙසේ රජ තෙම සෙනඟට ඇහුම්කන් නුදුන්නේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ෂිලෝහි අහියා ලවා නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ට කිය වූ ස්වකීය වචනය ඉෂ්ට කරන පිණිස ඒ කාරණය දෙවියන් වහන්සේගෙන් පැමිණියේ ය.</verse>
				<verse number="16">රජු තමන්ට ඇහුම්කන් නුදුන් බව සියලු ඉශ්රායෙල්වරුන් දුටු කල, ඔව්හු රජුට උත්තර දෙමින්, “දාවිත්ගෙන් අපට ඇති කොටස කිමෙක් ද? ජෙස්සේගේ පුත්‍රයාගෙන් අපට උරුමයක් නැත. ඉශ්රායෙල්වරුනි, ඔබේ කූඩාරම්වලට යන්න. ඉතින් දාවිත් තුමෙනි, ඔබ ඔබේ ම වංශය බලාගන්නැ”යි කීවෝ ය. මෙසේ සියලු ඉශ්රායෙල්වරු තම තමන්ගේ කූඩාරම්වලට ගියෝ ය.</verse>
				<verse number="17">එහෙත්, රෙහොබෝවම් රජ ජුදා නගරවල විසූ ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය.</verse>
				<verse number="18">එවිට රෙහොබෝවම් රජ රාජකාරියේ නිලධාරියා වූ හදෝරාම් එහි යැවුවේ ය. ඉශ්රායෙල්වරු ඔහුට ගල් ගසා ඔහු මැරුවෝ ය. එවිට රෙහොබෝවම් රජ ජෙරුසලමට පලා යන පිණිස ඉක්මනින් රථයට නැඟුණේ ය.</verse>
				<verse number="19">මෙසේ අද දවස දක්වා තිබෙන පරිදි ඉශ්රායෙල්වරු දාවිත්ගේ වංශයට විරුද්ධ ව කැරලි ගැසූ හ.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">රෙහොබෝවම් ජෙරුසලමට පැමිණ, තමාට රාජ්‍යය නැවත ලබාගන්න ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස, ජුදා වංශයෙන් ද බෙන්ජමින් වංශයෙන් ද වන තෝරාගත් යුද්ධ භටයන් එක්ලක්ෂ අසූදහසක් රැස් කෙළේ ය.</verse>
				<verse number="2">එහෙත්, සමිඳාණන් වහන්සේගේ වචනය දෙවියන් වහන්සේට කැප මනුෂ්‍යයා වූ ෂෙමායා වෙත පැමිණ,</verse>
				<verse number="3">“නුඹ සලමොන්ගේ පුත් ජුදාහි රජ වන රෙහොබෝවම්ටත්, ජුදාහි සහ බෙන්ජමින්හි සියලු ඉශ්රායෙල්වරුන්ටත් කතා කොට,</verse>
				<verse number="4">‘නුඹලා නොයන්න. නුඹලාගේ සහෝදරයන්ට විරුද්ධ ව යුද්ධ නොකරන්න. එක් එක්කෙනා තම තමාගේ ගෙදරට හැරී යන්න. මන්ද, මේ කාරණා පැමිණියේ මාගෙන් ය කියා සමිඳාණන් වහන්සේ වදාරන සේක’ කියා දන්වන්නැ”යි කී ය. එවිට ඔව්හු සමිඳාණන් වහන්සේගේ වචනවලට ඇහුම්කන් දී, ජෙරොබෝවම්ට විරුද්ධ ව නොගොස් හැරී ආවෝ ය.</verse>
				<verse number="5">රෙහොබෝවම් ජෙරුසලමෙහි වාසය කරමින් ආරක්ෂාව පිණිස ජුදාහි නගර ගොඩනැඟුවේ ය.</verse>
				<verse number="6">මේ නගර නම්, බෙත්ලෙහෙම්, ඒතාම්, තෙකෝවා;</verse>
				<verse number="7">බෙත්-ශූර්, ශෝකෝ, අදුල්ලාම්;</verse>
				<verse number="8">ගාත්, මාරේෂා, ශීප්;</verse>
				<verse number="9">අදොරයිම්, ලාකීෂ්, අශේකා;</verse>
				<verse number="10">ශොරා, අයාලෝන් සහ හෙබ්‍රොන් වේ. ජුදාහි ද බෙන්ජමින්හි ද තිබෙන නගරවලට බලකොටු තැනී ය.</verse>
				<verse number="11">ඔහු මේ බලකොටු සවි කර, ඒවායේ අධිපතීන් සිටුවා, ඒවායේ ආහාර සහ තෙල් ද මුද්‍රික පානය ද රැස් කොට තැබී ය.</verse>
				<verse number="12">යළිත් හෙතෙම එක එක නගරයෙහි පලිස් සහ හෙල්ල තැබී ය. ඔහු ඒවා ඉතා බලවත් ලෙස ශක්තිමත් කෙළේ ය. එසේ කෙළේ, ජුදා සහ බෙන්ජමින් පෙදෙස්වල සෙනඟ මෙල්ල කරන පිණිස ය.</verse>
				<verse number="13">සියලු ඉශ්රායෙල්වරුන් අතරෙහි සිටි පූජකවරු ද ලෙවීවරු ද තමන්ගේ සියලු පළාත්වලින් ඔහු වෙත ආවෝ ය.</verse>
				<verse number="14">මන්ද, ජෙරොබෝවම් සහ ඔහුගේ පුත්‍රයන් විසින් සමිඳාණන් වහන්සේගේ පූජක තනතුරෙන් ලෙවීවරුන් අහක් කරනු ලැබූ නිසා, තමන්ගේ තණ බිම් ද තමන්ගේ උරුමය ද අත්හැර ජුදාටත්, ජෙරුසලමටත් එන්න ඔවුන්ට සිදු වූ බැවිනි.</verse>
				<verse number="15">තවද, ඔහු තමා සෑදූ ගිරිකුළු දේවාලවලටත්, එළු රූප හා ගව රූප වන දේවතාවන්ටත් පූජකයන් පත් කරගත්තේ ය.</verse>
				<verse number="16">ලෙවීවරුන්ට පසු, සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමට තමන් සිත් යොමු කරගත් අය තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට පූජා කරන පිණිස ජෙරුසලමට ආවෝ ය.</verse>
				<verse number="17">මෙසේ ඔව්හු ජුදා රාජ්‍යය ශක්තිමත් කොට සලමොන්ගේ පුත් රෙහොබෝවම්ට තුන් අවුරුද්දක් සහාය දුන්හ. මන්ද, ඔවුන් තුන් අවුරුද්දක් ම දාවිත්ගේ ද සලමොන්ගේ ද මාර්ගයෙහි ගමන් කළ බැවිනි.</verse>
				<verse number="18">තවද, රෙහොබෝවම් දාවිත්ගේ පුත් ජෙරිමොත්ගේ ද ජෙස්සේගේ පුත් එලියාබ්ගේ දුව වන අබිහයිල්ගේ ද දුව වන මහලත් භාර්යාව කොට පාවාගත්තේ ය.</verse>
				<verse number="19">ඈ ජෙවුෂ් ද ෂෙමරියා ද සාහම් ද යන පුත්‍රයන් ඔහුගෙන් ලැබුවා ය.</verse>
				<verse number="20">ඈට පසු ව ඔහු අබ්සලොම්ගේ දූ වන මයකා පාවාගත්තේ ය. ඈ අබියා ද අත්තයි ද සීසා ද ෂෙලොමිත් ද ඔහුගෙන් ලැබුවා ය.</verse>
				<verse number="21">රෙහොබෝවම් තමාගේ සියලු භාර්යාවන්ටත්, උපභාර්යාවන්ටත් වඩා අබ්සලොම්ගේ දූ වන මයකාට ප්‍රේම කෙළේ ය. ඔහු භාර්යාවන් දහඅටදෙනෙකුත්, උපභාර්යාවන් හැටදෙනෙකුත් පාවාගත්තේ ය. පුත්‍රයෝ විසිඅටදෙනෙක් ද දූවරු හැටදෙනෙක් ද ඔහුට උපන්නෝ ය.</verse>
				<verse number="22">රෙහොබෝවම් වනාහි මයකාගේ පුත් අබියා රජකමට පත් කරන්නට සිතාගෙන ඔහු ඔහුගේ සහෝදරයන් අතරේ අධිපතියා කොට ප්‍රධානකමට පත් කෙළේ ය.</verse>
				<verse number="23">ඔහු සිහි නුවණින් හැසිර තමාගේ සියලු පුත්‍රයන්ට වගකීම් පවරා දී ඔවුන්ගෙන් කීප දෙනෙකු ජුදාහිත්, බෙන්ජමින්හිත් පළාත් මුළුල්ලෙහි සියලු බලකොටු නගරවලට බෙදා යැවී ය. තවද, බොහෝ සෙයින් ඔවුන්ට ආහාර සපයා දුන්නේ ය. ඔවුන්ට බොහෝ භාර්යාවන් ද සොයා දුන්නේ ය.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">තවද, රෙහොබෝවම්ගේ රාජ්‍යය ස්ථිර වී ඔහු බලවත් වූ කල්හි ඔහුත්, සියලු ඉශ්රායෙල්වරුත් සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව අත්හැරියෝ ය.</verse>
				<verse number="2">ඔවුන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝ‍්හිකම් කළ නිසා, රෙහොබෝවම් රජුගේ පස් වන අවුරුද්දේ දී මිසරයේ රජ වූ ෂීෂක් ජෙරුසලමට විරුද්ධ ව සටනට ආයේ ය.</verse>
				<verse number="3">ඔහු රථ එක්දහස් දෙසියයක් ද අසරුවන් සැටදහසක් ද ඇති ව පැමිණියේ ය. ඔහු සමඟ මිසරයෙන් ආ සෙනඟ වන ලුබ්වරු ද සුක්කිවරු ද කුෂ්වරු ද ගණනාවක් නැති ව සිටියහ.</verse>
				<verse number="4">ඔහු ජුදා දේශයෙහි බලකොටු නගර අල්ලා, පසු ව ජෙරුසලම දක්වා ආයේ ය.</verse>
				<verse number="5">එවිට දිවැසිවර ෂෙමායා රෙහොබෝවම් වෙතටත්, ෂීෂක්ට බියෙන් ජෙරුසලමෙහි රැස් ව සිටි ජුදාහි අධිපතීන් වෙතටත් අවුත්, ඔවුන්ට කතා කොට, “ ‘නුඹලා මා අත්හැරියහු ය. එබැවින් මමත් නුඹලා ෂීෂක් අතට පාවා දෙන්නෙමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කීවේ ය.</verse>
				<verse number="6">එවිට ඉශ්රායෙල්හි අධිපතීහු ද රජු ද යටත් වී, “සමිඳාණන් වහන්සේ ධර්මිෂ්ඨ ය”යි කීවෝ ය.</verse>
				<verse number="7">ඔවුන් යටත් වූ බව සමිඳාණන් වහන්සේ දුටු විට, උන් වහන්සේ ෂෙමායාට කතා කොට, “ඔව්හු යටත් වූවෝ ය. මම ඔවුන් විනාශ නොකොට ස්වල්ප කලකින් ඔවුන්ට ගැළවීම දෙන්නෙමි. මාගේ උදහස ද ෂීෂක් අතින් ජෙරුසලම පිට වගුරුවනු නොලබන්නේ ය.</verse>
				<verse number="8">එසේ වී නමුත්, මාගේ සේවය හා විදේශීය රාජ්‍යයන්ගේ සේවය අතර වෙනස ඔවුන් දැනගන්න පිණිස ඔව්හු ඔහුගේ සේවකයෝ වන්නෝ ය”යි වදාළ සේක.</verse>
				<verse number="9">මෙසේ මිසරයේ රජ වන ෂීෂක් ජෙරුසලමට විරුද්ධ ව සටනට අවුත් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වස්තු ද රජ ගෙයි තිබුණු වස්තු ද හැරගෙන ගියේ ය. ඔහු සලමොන් සෑදූ රන් පලිස් ද ඇතුළු සියල්ල ම ගෙන ගියේ ය.</verse>
				<verse number="10">රෙහොබෝවම් රජ ඒ වෙනුවට ලෝකඩ පලිස් සාදා රජ ගෙයි දොරකඩ රැකවල් කළ මුරකාරයන්ගේ අධිපතීන් අතට බාර දුන්නේ ය.</verse>
				<verse number="11">රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට එන සියලු අවස්ථාවන්හි දී මුරකාරයෝ ඒවා ඔසවාගෙන අවුත් නැවත මුරගෙට ගෙන ගියෝ ය.</verse>
				<verse number="12">තවද, ඔහු යටත් වූ බැවින් ඔහු මුළුමනින් ම විනාශ නොකරන හැටියට සමිඳාණන් වහන්සේගේ උදහස ඔහු කෙරෙන් හැරිණි. ඇරත් ජුදා දේශයෙහි ද සෞභාග්‍යය උදාවිය.</verse>
				<verse number="13">මෙසේ රෙහොබෝවම් රජ ජෙරුසලමෙහි ස්ථිර වී රජකම් කෙළේ ය. රෙහොබෝවම් තෙම රජකමට පත් වන කල සතළිස් එක් අවුරුද්දක් වයස් ව සිටියේ ය. සමිඳාණන් වහන්සේ තමන්ගේ නාමයේ ගෞරවය රක්නා ස්ථානය වශයෙන් සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් නගරය වන ජෙරුසලමෙහි ඔහු දහහත් අවුරුද්දක් රජකම් කෙළේ ය. අම්මොනිය ස්ත්‍රියක වූ ඔහුගේ මවගේ නම නාමා ය.</verse>
				<verse number="14">ඔහු සමිඳාණන් වහන්සේ සෙවීමට තම සිත යොමු නොකර නපුරුකම් කෙළේ ය.</verse>
				<verse number="15">මුල පටන් අන්තිම දක්වා රෙහොබෝවම්ගේ ක්‍රියා දිවැසිවර ෂෙමායාගේ ද ඉද්දෝ නම් දිවැසිවරයාගේ ද පුරාවෘත්ත ග්‍රන්ථවල පරම්පරා වශයෙන් වාර්තාකර තිබෙනු නොවේ ද? රෙහොබෝවම් සහ ජෙරොබෝවම් අතරේ නිතර ම යුද්ධ පැවතුණේ ය.</verse>
				<verse number="16">රෙහොබෝවම් මියගිය පසු දාවිත්ගේ නුවර තැන්පත් කරන ලද්දේ ය. ඔහුගේ පුත් අබියා ඔහු වෙනුවට රජ විය.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">ජෙරොබෝවම් රජුගේ දහඅට වන අවුරුද්දේ දී අබියා ජුදා දේශයෙහි රජ වී</verse>
				<verse number="2">තුන් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම මීකායා ය. ඈ ගිබියාහි උරියෙල්ගේ දුවක් ය. අබියා ද ජෙරොබෝවම් ද අතරේ යුද්ධ පැවතිණි.</verse>
				<verse number="3">එවිට අබියා යුද්ධයට බලවන්ත, තෝරාගත් මනුෂ්‍යයන් හාරලක්ෂයකින් යුත් සේනාවක් ඇති ව යුද්ධාරම්භ කෙළේ ය. ජෙරොබෝවම් ද ඔහුට විරුද්ධ ව තෝරාගත් බලසම්පන්න මනුෂ්‍යයන් අටලක්ෂයක් ඇති ව යුද්ධයට සැරසී පිළිවෙළින් සිටියේ ය.</verse>
				<verse number="4">එවිට අබියා එප්‍රායිම් කඳු රටේ තිබෙන ශෙමාරයිම් කන්ද උඩ සිට මෙසේ කී ය: “ජෙරොබෝවම් සහ සියලු ඉශ්රායෙල්වරුනි, මාගේ බස් අසන්න.</verse>
				<verse number="5">ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් කෙරෙහි රජකම් කිරීම දාවිත්ට ද ඔහුගේ පුත්‍රයන්ට ද නොබිඳෙන ගිවිසුමකින් සදහට ම දුන් බව ඔබ හැම දැනගත යුතු නොවේ ද?</verse>
				<verse number="6">එහෙත්, දාවිත්ගේ පුත්‍රයා වන සලමොන්ගේ සේවක නෙබාත්ගේ පුත් වන ජෙරොබෝවම් නැඟිට තමාගේ ස්වාමියාට විරුද්ධ ව කැරලි ගැසුවේ ය.</verse>
				<verse number="7">කමකට නැති දුර්ජන මනුෂ්‍යයෝ ඔහුට එකතු ව ඔවුන්ගේ කැමැත්ත කිරීමට සලමොන්ගේ පුත් රෙහොබෝවම්ට විරුද්ධ ව ඔහු තදින් පෙළඹ වූ හ. ඔහු වයසින් බාල ව, සිතින් මෘදු ව සිටි බැවින් ඔවුන්ට විරුද්ධ ව සිටින්න ඔහුට බැරි විය.</verse>
				<verse number="8">දැන් ඔබ හැම දාවිත්ගේ පුත්‍රයන් අතේ තිබෙන සමිඳාණන් වහන්සේගේ රාජ්‍යයට විරුද්ධ ව සිටින්න කල්පනා කරන්නහු ය. ඔබ හැම මහත් සමූහයක් ය. දෙවිවරුන් කොට ජෙරොබෝවම් ඔබට සාදා දුන් රන් වහු රූප ඔබ හැම සමඟ ඇත.</verse>
				<verse number="9">ඔබ හැම ආරොන්ගේ පුත්‍රයන් වන සමිඳාණන් වහන්සේගේ පූජකයන් ද ලෙවීවරුන් ද එළවා දමා වෙන දේශවල ජාතීන් මෙන් පූජකයන් නියම කරගත්තෝ නොවන්නහු ද? මෙසේ කැප වන පිණිස ගොනෙකුත්, බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන එන කවුරු නමුත්, නමින් දෙවිවරුන් වූ අයට පූජකයෙක් වන්නේ ය.</verse>
				<verse number="10">“එහෙත්, අපේ දෙවියන් වහන්සේ නම්, සමිඳාණන් වහන්සේ ය. අපි උන් වහන්සේ අත් නොහැරියෙමු, සමිඳාණන් වහන්සේට සේවය කරන පූජකයන් වූ ආරොන්ගේ පුත්‍රයෝ ද තමන්ගේ මෙහෙයේ යෙදෙන ලෙවීවරු ද අපට සිටිති.</verse>
				<verse number="11">ඔව්හු සමිඳාණන් වහන්සේට හැම උදය ද හැම සවස ද දවන යාග පූජා ද සුවඳ දුම් ද ඔප්පු කරති. පිදීමේ රොටි රන් මේසය උඩ පිළිවෙළට තබති. රන් පහන් රුක සමඟ එහි පහන් හැම සවස ම දල්වති. මන්ද, අපි අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ ආගමික වත්පිළිවෙත් පවත්වමු. එහෙත්, ඔබ හැම උන් වහන්සේ අත්හැරියහු ය.</verse>
				<verse number="12">මෙන්න, දෙවියන් වහන්සේ අප කෙරෙහි ප්‍රධාන ව අප සමඟ සිටින සේක; උන් වහන්සේගේ පූජකයෝ ද ඔබ හැමට විරුද්ධ ව පිඹින පිණිස හොරණෑ ගෙන සිටිති. ඉශ්රායෙල්වරුනි, ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව සටන් නොකරන්න; මන්ද, ඔබට ද ජය අත් නොවන්නේ ය.”</verse>
				<verse number="13">අබියා මෙසේ කී පසු ජෙරොබෝවම් ඔවුන්ට පිටුපසින් එන පිණිස සේනාවක් රහසින් වටේට යැවී ය. මෙසේ ඔව්හු ජුදාවරුන්ට ඉස්සරහින් ද රහස් සේනාව ඔවුන්ට පිටුපසින් ද සිටියෝ ය.</verse>
				<verse number="14">ජුදාවරු හැරී බැලූ විට තමන්ට විරුද්ධ ව ඉස්සරහින් ද පිටුපසින් ද යුද්ධය ඇති බව දැක සමිඳාණන් වහන්සේට මොරගැසුවෝ ය. පූජකයෝ හොරණෑ පිම්බෝ ය.</verse>
				<verse number="15">එවිට ජුදා මනුෂ්‍යයන් ඔල්වර හඬ නැඟුව කල, දෙවියන් වහන්සේ ජෙරොබෝවම් සහ සියලු ඉශ්රායෙල්වරුන් අබියාත්, ජුදාත් ඉදිරියේ පරදවා හැරිය සේක.</verse>
				<verse number="16">එවිට ඉශ්රායෙල්වරු ජුදාවරුන් ඉදිරියෙන් පලා ගියෝ ය. දෙවියන් වහන්සේ ඔවුන් ජුදාවරුන් අතට පාවා දුන් සේක.</verse>
				<verse number="17">අබියා ද ඔහුගේ සෙනඟ ද ඔවුන් ඝාතනය කළහ. තෝරාගත් ඉශ්රායෙල් මනුෂ්‍යයෝ පන්ලක්ෂයක් මැරුම් කා වැටුණෝ ය.</verse>
				<verse number="18">මෙසේ ඒ කාලයේ දී ඉශ්රායෙල්වරු යටත් කරන ලද්දෝ ය. ජුදාවරු තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරේ විශ්වාසය තැබූ නිසා ජයගත්හ.</verse>
				<verse number="19">අබියා තෙමේ ජෙරොබෝවම් ලුහුබැඳ ගොස් බෙතෙල් සහ ඊට අයිති නගර ද ජෙෂානා හා ඊට අයිති නගර ද එප්‍රෝන් සහ ඊට අයිති නගර ද අල්ලාගත්තේ ය.</verse>
				<verse number="20">මෙසේ ජෙරොබෝවම්, අබියාගේ කාලයේ දී නැවත බලවත් නො වී ය. සමිඳාණන් වහන්සේ ඔහුට පහර දුන් සේක. ඔහු මළේ ය.</verse>
				<verse number="21">එහෙත්, අබියා බලවත් විය; හෙතෙම භාර්යාවන් දහහතරදෙනෙකු පාවාගත්තේ ය. පුත්‍රයෝ විසිදෙදෙනෙක් ද දූවරු දහසයදෙනෙක් ද ඔහුට දාව උපන්නෝ ය.</verse>
				<verse number="22">අබියාගේ සෙසු ක්‍රියා ද ඔහුගේ ප්‍රතිපත්ති ද කියමන් ද දිවැසිවර ඉද්දෝගේ අටුවා පොතෙහි ලියා තිබේ.</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">මෙසේ අබියා මියගිය පසු දාවිත්ගේ නුවර තැන්පත් කරනු ලැබුවේ ය. ඔහුගේ පුත්‍ර වූ ආසා ඔහු වෙනුවට රජ විය. ඔහුගේ කාලයෙහි දස අවුරුද්දක් දේශයේ සාමය පැවතිණි.</verse>
				<verse number="2">ආසා තම දෙවි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි යහපත් දේ කෙළේ ය.</verse>
				<verse number="3">මන්ද, ඔහු විදේශීය පූජාසන ද ගිරිකුළු දේවාල ද පහකොට, රූපස්තම්භ බිඳ, අෂේරා කප් කණු ද කපා දැමුවේ ය.</verse>
				<verse number="4">තවද, තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ සොයන්න ද ව්‍යවස්ථාව හා ආඥාව පිළිපදින්න ද ජුදාවරුන්ට ඔහු අණ කෙළේ ය.</verse>
				<verse number="5">ඔහු ජුදාහි සියලු නගරවලින් ගිරිකුළු දේවාල සහ සුවඳ දුම් පූජාසන පහකෙළේ ය. ඔහුගේ කාලයේ රාජ්‍යයෙහි ද සාමය පැවතිණි.</verse>
				<verse number="6">තවද, ඔහු ජුදාහි බලකොටු නගර යළි ගොඩනැඟුවේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ඔහුට සාමය දුන් බැවින් දේශයේ සමගිය තිබුණේ ය. ඒ අවුරුදුවල එහි යුද්ධයක් නො වී ය.</verse>
				<verse number="7">ඔහු ජුදාවරුන්ට කතා කොට, “අපි මේ නගර ගොඩනඟා, අවට පවුරු ද කොටු ද දොරටු ද අගුල් ද සාදමු. අප විසින් අපේ දෙවි සමිඳාණන් වහන්සේ සොයනු ලැබූ බැවින් දේශය තවම නිරවුල් ව අප ඉදිරියෙහි තිබේ. අපි උන් වහන්සේ සෙවුවෙමු. උන් වහන්සේ ද හැම අතින් ම අපට සාමය දී තිබේ ය”යි කීවේ ය. මෙසේ ඔව්හු නගර ගොඩනඟමින් සමෘද්ධිමත් වූවෝ ය.</verse>
				<verse number="8">ජුදාවරුන්ගෙන් පලිස් සහ හෙල්ල දරන තුන්ලක්ෂයකින් ද බෙන්ජමින්වරුන්ගෙන් පලිස් දරන දුනු ගත් දෙලක්ෂ අසූදහසකින් ද යුක්ත වූ සේනාවක් ආසාට සිටියහ. මේ සියල්ලෝ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ වූ හ.</verse>
				<verse number="9">ඔවුන්ට විරුද්ධ ව කුෂ්හි ශෙරා දසලක්ෂයක් සෙනඟ ද රථ තුන්සියයක් ද අඩංගු වූ සේනාවක් ඇති ව පිටත් වී මාරේෂා දක්වා පැමිණියේ ය.</verse>
				<verse number="10">ආසා වනාහි ඔහුට විරුද්ධ ව සටනට ගියේ ය. එවිට මාරේෂාහි ශෙපාතා මිටියාවතෙහි ඔව්හු යුද්ධයට සැරසී සිටගත්හ.</verse>
				<verse number="11">ආසා තම දෙවි සමිඳාණන් වහන්සේට යාච්ඤා කොට, “සමිඳුනි, බලසම්පන්න අයට විරුද්ධ ව බලහීන අයට පිහිට වන්න ඔබ හැර අන් කිසිවෙක් නැත්තේ ය. අපේ දෙවි සමිඳුනි, අපට පිහිට වුව මැනව. මන්ද, අපි ඔබ කෙරේ විශ්වාසය තබා, ඔබේ නාමයෙන් මේ සමූහයට විරුද්ධ ව අවුත් සිටිමු. සමිඳුනි, ඔබ අපේ දෙවියන් වහන්සේ ය. ඔබට විරුද්ධ ව මනුෂ්‍යයා ජය නොගනීවා”යි කීවේ ය.</verse>
				<verse number="12">සමිඳාණන් වහන්සේ ආසා සහ ජුදාවරුන් ඉදිරියෙහි කුෂ්වරුන් පැරද වූ සේක. කුෂ්වරු පලා ගියෝ ය.</verse>
				<verse number="13">ආසා ද ඔහු සමඟ සිටි සෙනඟ ද ගෙරාර් දක්වා ලුහුබැඳ ගියෝ ය. කුෂ්වරුන්ගෙන් කිසිවෙකු ජීවත් ව ඉතුරු නොවන ලෙස ඔව්හු මැරුම්කෑහ. මන්ද, ඔව්හු සමිඳාණන් වහන්සේ ද උන් වහන්සේගේ සේනාව ද ඉදිරියෙන් විනාශ කරනු ලැබුවෝ ය. ඔව්හු ඉතා මහත් කොල්ලයක් ද රැගෙන ආවෝ ය.</verse>
				<verse number="14">ගෙරාර් නගරය අවට සියලු නගරවලට ඔව්හු පහර දුන්නෝ ය. මන්ද, සමිඳාණන් වහන්සේ කෙරෙන් ඔවුන් පිට භීතියක් පැමිණි බැවින් ඔව්හු ඒ සියලු නගර කොල්ලකෑවෝ ය. ඒවායේ බොහෝ කොල්ලය තිබිණි.</verse>
				<verse number="15">ඔව්හු සිවුපාවුන්ගේ මඩුවලටත් පහර දී බොහෝ බැටළුවන් ද ඔටුවන් ද අල්ලාගෙන ජෙරුසලමට හැරී ආවෝ ය.</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">තවද, දෙවියන් වහන්සේගේ ආත්මානුභාව ඕදෙද්ගේ පුත් අසරියා කෙරෙහි පැමිණියේ ය.</verse>
				<verse number="2">ඔහු ආසාගේ පෙරමඟට ගොස් මෙසේ කී ය: “ආසා සහ සියලු ජුදාවරුනි, බෙන්ජමින්වරුනි, මට සවන් දෙන්න. ඔබ සමිඳාණන් වහන්සේ සමඟ සිටින තුරු උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක. ඔබ උන් වහන්සේ සොයන්නහු නම්, උන් වහන්සේ ඔබ සියල්ලන්ට සම්බ වනු ඇත. ඔබ උන් වහන්සේ අත්හැරියොත්, උන් වහන්සේ ද ඔබ අත්හරිනු ඇත.</verse>
				<verse number="3">බොහෝ කාලයක සිට ඉශ්රායෙල්වරු සැබෑවන දෙවියන් වහන්සේ ද උගන්වන පූජකයෙකු ද ව්‍යවස්ථාව ද නැති ව සිටියෝ ය.</verse>
				<verse number="4">එහෙත්, ඔවුන් තමන්ගේ විපතේ දී ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ දෙස හැරී, උන් වහන්සේ සෙවූ විට ඔවුන්ට උන් වහන්සේ සම්බ වූ සේක.</verse>
				<verse number="5">ඒ කාලයේ ගමන් බිමන්වල යෙදුණු කිසි කෙනෙකුට ආරක්ෂාවක් නැති විය. දේශවල සියලු වැසියන්ට මහා පීඩා පැමිණියේ ය.</verse>
				<verse number="6">ජාතියක් විසින් ජාතියක් ද නුවරක් විසින් නුවරක් ද පොඩි කරනු ලැබූ හ. මන්ද, දෙවියන් වහන්සේ සියලු ආකාර විපත්තිවලින් ඔවුන්ට පීඩා කළ බැවිනි.</verse>
				<verse number="7">එහෙත්, ඔබ දුබල නොවී ශක්තිමත් වන්න. මන්ද, ඔබ හැමගේ වැඩට විපාක ලැබෙන්නේ ය.”</verse>
				<verse number="8">ආසා මේ පණිවුඩය ද දිවැසිවර ඕදෙද්ගේ දිවැස් වැකිය ද ඇසූ කල ධෛර්ය උපදවාගෙන, ජුදාවරුන්ගේත්, බෙන්ජමින්වරුන්ගේත් මුළු දේශයෙන් ද එප්‍රායිම් කඳු රටින් තමා අල්ලාගත් නගරවලින් ද පිළිකුල් දේව රූප අහක් කෙළේ ය. ඔහු සමිඳාණන් වහන්සේගේ ද්වාර මණ්ඩපය ඉදිරිපිට තිබූ සමිඳාණන් වහන්සේගේ පූජාසනය ද අලුත් වැඩියා කෙළේ ය.</verse>
				<verse number="9">තවද, ඔහු සියලු ජුදාවරුන් ද බෙන්ජමින්වරුන් ද ඔවුන් සමඟ එප්‍රායිම්වරුන්ගෙනුත්, මනස්සේවරුන්ගෙනුත්, සිමියොන්වරුන්ගෙනුත් අවුත් සිටි ආගන්තුකයින් ද රැස් කරගත්තේ ය. මන්ද, ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිටින බව දුටු කල ඉශ්රායෙල්වරුන්ගෙන් බොහෝ දෙනෙකු ඔහුට එක් වූ බැවිනි.</verse>
				<verse number="10">ආසා රජකමට පත් වූ පහළොස් වන අවුරුද්දේ තුන් වන මාසයේ දී ඔව්හු ජෙරුසලමට රැස් වූ හ.</verse>
				<verse number="11">ඔවුන් ගෙනා කොල්ලයෙන් ගවයන් සත්සියයකුත්, බැටළුවන් සත්දහසකුත් සමිඳාණන් වහන්සේට ඔව්හු ඒ දවසේ පූජා කළෝ ය.</verse>
				<verse number="12">තවද, ඔව්හු තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ මුළු හෘදයෙන් ද මුළු ආත්මයෙන් ද සොයන්නත්,</verse>
				<verse number="13">ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ නොසොයන සියල්ලන්, ලොකු කෙනෙකු වුවත්, කුඩා කෙනෙකු වුවත්, පුරුෂයෙකු වුවත්, ස්ත්‍රියක වුවත් මරණයට පත් කළ යුතු යයි නියම කරගන්නත් වූ හ.</verse>
				<verse number="14">ඔව්හු මහා හඬ ද ඝෝෂා හඬ ද හොරණෑවලත්, නළාවලත් ශබ්දය ද ඇති ව සමිඳාණන් වහන්සේට දිවුරුම දුන්නෝ ය.</verse>
				<verse number="15">සියලු ජුදාවරු ඒ දිවුරුම ගැන ප්‍රීති වූ හ. මන්ද, ඔවුන් තමන්ගේ මුළු සිතින් දිවුරා, තමන්ගේ මුළු කැමැත්තෙන් උන් වහන්සේ සෙවූ බැවිනි. සමිඳාණන් වහන්සේ ද ඔවුන්ට තමන් වහන්සේ සොයා ගැන්මට ඉඩ දුන් සේක. උන් වහන්සේ ඔවුන්ට හාත්පසින් ම සාමය ලබා දුන් සේක.</verse>
				<verse number="16">ආසා රජුගේ මව වූ මයකා විසින් අෂේරා දේවතාවියට පිළිකුල් රූපයක් සාදනු ලැබූ නිසා, ආසා ඇය බිසෝකමෙන් අහක් කර, ඇගේ පිළිම කප් කණුව කපා දමා, සුණු කර, කිද්‍රොන් ඔය ළඟ දී එය පුළුස්සා දැමුවේ ය.</verse>
				<verse number="17">එහෙත්, ඉශ්රායෙල්වරුන් අතරෙන් ගිරිකුළු දේවාල පහ කරනු නොලැබුවේ ය. එසේ වුවත්, ආසාගේ සිත ඔහුගේ මුළු කාලයේ දී නිර්දෝෂිව තිබුණේ ය.</verse>
				<verse number="18">ඔහු තමාගේ පියා ද තමා ද කැප කළ රන් රිදී සහ බඩු භාණ්ඩ දෙවියන් වහන්සේගේ මාලිගාව ඇතුළට ගෙනාවේ ය.</verse>
				<verse number="19">ආසා රජකම් කළ තිස්පස් වන අවුරුද්ද දක්වා තවත් යුද්ධ නො වී ය.</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">ආසා රජකම් කළ තිස්හය වන අවුරුද්දේ දී ඉශ්රායෙල්හි රජ වූ බාෂා ජුදාට විරුද්ධ ව ගොස් ජුදාහි රජු වූ ආසා වෙත කිසිවෙකුට යන්න එන්න ඉඩ නාරින පිණිස රාමා නගරය ගොඩනැඟුවේ ය.</verse>
				<verse number="2">එවිට ආසා සමිඳාණන් වහන්සේගේ දේව මාලිගාවේ හා රජ මැදුරේ ගබඩාවලින් රන් රිදී පිටතට ගෙනවුත්, දමස්කයෙහි වාසය කළ සිරියාවේ රජ වන බෙන්-හදද්ට ඒවා යවමින්,</verse>
				<verse number="3">“මාගේ පියා ද ඔබේ පියා ද අතරේ තිබුණ පරිදි, මා සහ ඔබ අතරේ ද ගිවිසුමක් තිබේ. මෙන්න, රන් රිදී ඔබට එවමි. ඉශ්රායෙල්හි රජු වන බාෂා මාගේ රටින් අහක් ව යන පිණිස, ඔබ අවුත් ඔහු සමඟ තිබෙන ගිවිසුම කඩ කළ මැනවැ”යි කියා හැරියේ ය.</verse>
				<verse number="4">එවිට බෙන්-හදද් ආසා රජුට ඇහුම්කන් දී තමාගේ යුද්ධ සේනාපතීන් ඉශ්රායෙල් නගරවලට විරුද්ධ ව යැවී ය. ඔහු ඊයොන්ටත්, දාන්ටත්, ආබෙල්-මායිම්ටත්, නප්තලීහි සියලු ගබඩා-නගරවලටත් පහර දුන්නේ ය.</verse>
				<verse number="5">බාෂා රජ එය ඇසූ විට, ඔහු රාමා නගරය ගොඩනැඟීමෙන් නැවතී තම වැඩ අත් හිටවී ය.</verse>
				<verse number="6">එවිට ආසා රජ සියලු ජුදාවරුන් කැඳවාගෙන ගොස්, බාෂා ගොඩනැඟුවා වූ රාමාහි ගල් ද ලී ද ඔවුන් ලවා ගෙන්වාගෙන, එයින් ගෙබා ද මිශ්පා ද යන නගර ගොඩනැඟුවේ ය.</verse>
				<verse number="7">එවිට දිවැසිවර හනානි ජුදාහි රජ වූ ආසා ළඟට අවුත් කතා කොට, “ ‘ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි ඔබ විශ්වාසය නොතබා, සිරියාවේ රජු කෙරෙහි විශ්වාසය තැබූ බැවින් සිරියාවේ රජුගේ සේනාව ඔබේ අතින් ගැළවී යන්නේ ය.</verse>
				<verse number="8">කුෂ්වරු ද ලූබ්වරු ද රථ සහ අසරුවන් මහා රාශියක් ඇති මහා සේනාවක් ව සිටියෝ නොවෙත් ද? එහෙත්, ඔබ සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ නිසා, උන් වහන්සේ ඔවුන් ඔබ වෙත පාවා දුන් සේක.</verse>
				<verse number="9">මන්ද, සමිඳාණන් වහන්සේ තමන් කෙරෙහි සම්පූර්ණ විශ්වාසය ඇති අයට පිහිට වන පිණිස උන් වහන්සේගේ බලය පාමින්, උන් වහන්සේගේ බැල්ම පොළොව මුළුල්ලෙහි සෑම තැන ම යොමු කරන සේක. මේ ගැන ඔබ අනුවණ ලෙස ක්‍රියා කෙළෙහි ය. මෙතැන් පටන් ඔබට විරුද්ධ ව යුද්ධ ඇති වන්නේ ය”යි කීවේ ය.</verse>
				<verse number="10">එවිට ආසා රජ දිවැසිවරයා කෙරෙහි කෝප වී ඔහු හිර ගෙයි දැමී ය. මන්ද, ඔහු මේ කාරණය ගැන ඔහු සමඟ උදහස් ව සිටි බැවිනි. එම කාලයේ ම ආසා සෙනඟගෙන් සමහරෙකුටත් පීඩා කෙළේ ය.</verse>
				<verse number="11">ආසාගේ ක්‍රියා මුල පටන් අග දක්වා ජුදාහි ද ඉශ්රායෙල්හි ද රජුන්ගේ පොතෙහි ලියා තිබේ.</verse>
				<verse number="12">ආසා රජකම් කළ තිස්නව වන අවුරුද්දේ දී ඔහුගේ පාදවල රෝගයක් විය; ඒ රෝගය තදබල විය. එහෙත්, ඔහු තමාගේ රෝගයේ දී සමිඳාණන් වහන්සේ නොව වෛද්‍යවරුන් සෙවී ය.</verse>
				<verse number="13">එහෙත්, ආසා මියගියේ ය. ඔහු මියගියේ, තමා රජ කළ සතළිස්එක් වන අවුරුද්දේ දී ය.</verse>
				<verse number="14">ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තමාට කපාගෙන තිබූ ඔහුගේ ම සොහොන් ගෙයි ඔහු තැන්පත් කළෝ ය. තවද, තෛල සංයෝගකරුගේ ශාස්ත්‍රය අනුව පිළියෙළ කළ නොයෙක් ආලේපනයෙන් සහ සුවඳ ද්‍රව්‍යයෙන් පිරූ යහනේ ඔහු තැබූ පසු ඔව්හු ඔහුගේ ගෞරවය පිණිස ඉමහත් ගිනිමැලයක් දැල්වූවෝ ය.</verse>
			</chapter>
			<chapter number="17">
				<verse number="1">ආසාගේ පුත් ජෙහෝෂාපාට් ඔහු වෙනුවට රජ වී ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව තමාගේ බලය තහවුරු කරගත්තේ ය.</verse>
				<verse number="2">ඔහු ජුදා රටේ සියලු බලකොටු නගරවල හමුදාවන් සිටුවා, ජුදා දේශයෙහි ද තමාගේ පිය වූ ආසා අල්ලාගත් එප්‍රායිම් නගරවල ද මුර සේනාවන් සිටෙව්වේ ය.</verse>
				<verse number="3">සමිඳාණන් වහන්සේ ජෙහෝෂාපාට් සමඟ වැඩ සිටි සේක. මන්ද, ඔහු තමාගේ පිය වූ දාවිත්ගේ මුල් කාලයේ ආදර්ශ අනුව හැසිර, බාල් දේවතාවුන්ට වැඳුම්පිදුම් නොකර,</verse>
				<verse number="4">තම පියාගේ දෙවියන් වහන්සේට වැඳුම්පිදුම් කරමින්, ඉශ්රායෙල්වරුන්ගේ ක්‍රියා අනුව නොව, උන් වහන්සේගේ ආඥා අනුව හැසුරුණේ ය.</verse>
				<verse number="5">එබැවින් සමිඳාණන් වහන්සේ ඔහු යටතේ රාජ්‍යය ස්ථිර කළ සේක. සියලු ජුදාවරු ජෙහෝෂාපාට්ට තෑගි ගෙනාහ. වස්තුව ද ගෞරවය ද ඔහුට බොහෝ සෙයින් තිබිණි.</verse>
				<verse number="6">ඔහු සමිඳාණන් වහන්සේට වන්දනා කිරීමට ධෛර්යවත් වී, නැවත ජුදා රටින් ගිරිකුළු දේවාල ද අෂේරා කප් කණු ද පහකෙළේ ය.</verse>
				<verse number="7">තවද, ඔහු තමා රජකම් කළ තුන් වන අවුරුද්දේ දී ජුදා නගරවල උගන්වන පිණිස තමාගේ අධිපතීන් වන බෙන්හයිල් ද ඔබදියා ද ශෙකරියා ද නෙතනේල් ද මීකායා ද</verse>
				<verse number="8">ඔවුන් සමඟ ලෙවීවරුන් වන ෂෙමායා ද නෙතනියා ද ශෙබදියා ද අසාහෙල් ද ෂෙමිරාමොත් ද ජෙහොනාතාන් ද අදොනියා ද ටෝබියා ද ටෝබ්-අදොනියා ද ඔවුන් සමඟ පූජකවරුන් වූ එලීෂාමා ද ජෙහෝරාම් ද යැවී ය.</verse>
				<verse number="9">ඔව්හු ද ජුදාහි උගන්වමින්, සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථා පොත රැගෙන ජුදාහි සියලු නගරවලට ගොස් සෙනඟ අතරෙහි එය ඉගැන්නුවෝ ය.</verse>
				<verse number="10">සමිඳාණන් වහන්සේ ජුදා රට අවට දේශවල සියලු රාජ්‍යයන් භීතියට පත් කළ නිසා, ඔව්හු ජෙහෝෂාපාට්ට විරුද්ධ ව යුද්ධ නොකළෝ ය.</verse>
				<verse number="11">පිලිස්තිවරුන්ගෙන් සමහරෙක් ජෙහෝෂාපාට්ට තෑගි ද රිදී ද කප්පම් පිණිස ගෙනාවෝ ය. අරාබිවරු ද බැටළුවන් හත්දහස් හත්සියයක් හා එළුවන් හත්දහස් හත්සියයක් ද යන සිවුපාවුන් ගෙනාවෝ ය.</verse>
				<verse number="12">ජෙහෝෂාපාට් අතිශයින් උතුම් ව ජුදාහි බලකොටු ද ගබඩා-නගර ද ගොඩනැඟුවේ ය.</verse>
				<verse number="13">ඔහුට ජුදා නගරවල බොහෝ බලකොටු තිබුණේ ය. යුද්ධයට බලවත්, වික්‍රමාන්විත මනුෂ්‍යයෝ ද ජෙරුසලමෙහි සිටියෝ ය.</verse>
				<verse number="14">ඔවුන්ගේ පියවංශ ලෙස ඔවුන්ගේ ගණන් මේ ය: ජුදාවරුන් අතර සහශ්‍රාධිපතියෝ නම්, අධිපතියා වන අද්නා ය. ඔහු සමඟ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ තුන්ලක්ෂයක් සිටියෝ ය.</verse>
				<verse number="15">ඊළඟට අධිපතියා වූ ජෙහෝහානාන් ය. ඔහු සමඟ වික්‍රමාන්විත මනුෂ්‍යයෝ දෙලක්ෂ අසූදාහක් සිටියෝ ය.</verse>
				<verse number="16">ඊළඟට සිටියේ, කැමැත්තෙන් ම සමිඳාණන් වහන්සේගේ සේවයට බාර වූ ශික්රීගේ පුත් අමසියා ය. ඔහු සමඟ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ දෙලක්ෂයක් සිටියෝ ය.</verse>
				<verse number="17">ඊළඟට සිටියේ බෙන්ජමින්වරුන් අතර බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෙකු වූ එල්යාදා ය. ඔහු සමඟ දුනු හා පලිස්වලින් සන්නද්ධ වූ මනුෂ්‍යයෝ දෙලක්ෂයක් වූවෝ ය.</verse>
				<verse number="18">ඊළඟට සිටියේ, ජෙහෝශාබාද් ය; යුද්ධයට සැරසී සිටි එක්ලක්ෂ අසූදහසක් ඔහු සමඟ වූවෝ ය.</verse>
				<verse number="19">ඔව්හු රජුට මෙහෙ කළ අය වූ හ. ඔවුන් හැර රජු විසින් මුළු ජුදාහි බලකොටු නගරවල නවතනු ලැබූ අයත් රජුට මෙහෙ කළෝ ය.</verse>
			</chapter>
			<chapter number="18">
				<verse number="1">තවද, ජෙහෝෂාපාට්ට බොහෝ සෙයින් වස්තුව ද ගෞරවය ද තිබිණි. ඔහු ආහබ් සමඟ විවාහ නෑකම් බැඳගත්තේ ය.</verse>
				<verse number="2">අවුරුදු ගණනකට පසු ඔහු සමාරියේ විසූ ආහබ් වෙත ගියේ ය. එවිට ආහබ් ඔහු ද ඔහු සමඟ සිටි සෙනඟ ද උදෙසා බොහෝ බැටළුවන් ද ගවයන් ද මරා, තමා සමඟ රාමොත්-ගිලියද්ට යන්න ඔහු පෙළඹෙව්වේ ය.</verse>
				<verse number="3">ඉශ්රායෙල් රජ වන ආහබ් ජුදාහි රජ වන ජෙහෝෂාපාට්ට නැවත කතා කොට, “ඔබ මා සමඟ රාමොත්-ගිලියද්ට යන්නෙහි දැ”යි ඇසුවේ ය. ඔහු ද උත්තර දෙමින්, “මමත් ඔබ මෙන් සටනට සූදානම් ය; මාගේ සෙනඟත්, ඔබේ සෙනඟ මෙන් සටනට සූදානම් ය. යුද්ධයේ දී අපි ඔබ සමඟ සිටින්නෙමු”යි ඔහුට කීවේ ය.</verse>
				<verse number="4">තවද, ජෙහෝෂාපාට් කතා කොට, “සටනට යෑම ගැන අද සමිඳාණන් වහන්සේගෙන් විචාළ මැනවැ”යි ඉශ්රායෙල් රජුට කීවේ ය.</verse>
				<verse number="5">එකල ඉශ්රායෙල් රජ ගණනින් හාරසියයක් වන දිවැසිවරුන් රැස් කොට, “අප යුද්ධය පිණිස රාමොත්-ගිලියද්ට යන්න ද නොහොත් මා නොගොස් සිටින්න දැ”යි ඔවුන්ගෙන් ඇසුවේ ය. ඔව්හු ද, “ගියමැනව; දෙවියන් වහන්සේ එය රජු අතට පාවා දෙන සේකැ”යි කීවෝ ය.</verse>
				<verse number="6">එහෙත්, ජෙහෝෂාපාට් කතා කොට, “මොවුන් හැර අප විසින් විචාරනු ලබන පිණිස සමිඳාණන් වහන්සේගේ වෙන දිවැසිවරයෙක් මෙහි නැද්දැ”යි ඇසුවේ ය.</verse>
				<verse number="7">ඉශ්රායෙල් රජ ද උත්තර දෙමින්, “සමිඳාණන් වහන්සේගෙන් විචාරන පිණිස ඉම්ලාගේ පුත් මීකායා නම් වන තව එක් කෙනෙක් සිටියි. එහෙත්, ඔහු නිතර ම මා ගැන නපුරක් මිස යහපතක් දිවැස් වැකියෙන් නොකියන නිසා මම ඔහුට වෛර වෙමි”යි ජෙහෝෂාපාට්ට කීවේ ය. ජෙහෝෂාපාට් කතා කරමින්, “රජ්ජුරුවෝ එසේ නොකියත්වා”යි කීවේ ය.</verse>
				<verse number="8">එවිට ඉශ්රායෙල් රජ ඇමතියෙකු කැඳවා, “ඉම්ලාගේ පුත් මීකායා ඉක්මනින් ගෙන්වන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="9">ඉශ්රායෙල් රජ ද ජුදාහි රජ වන ජෙහෝෂාපාට් ද රාජ වස්ත්‍ර හැඳ තම තමන්ගේ සිංහාසනවල හිඳගත්හ. ඔව්හු සමාරියේ දොරකඩ එළිමහන් තැනක වාඩි වී සිටියහ. සියලු දිවැසිවරු ඔවුන් ඉදිරියෙහි දිවැස් වැකි කියමින් සිටියහ.</verse>
				<verse number="10">කෙනානාගේ පුත් ශෙදෙකියා යකඩ අං සාදාගෙන, “ ‘නුඹ සිරියන්වරුන් විනාශ වන තුරු මේවායින් ඔවුන්ට අනින්නෙහි ය’යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කීවේ ය.</verse>
				<verse number="11">සියලු දිවැසිවරු එසේ ම දිවැස් වැකි කියමින්, “රාමොත්-ගිලියද්ට ගොස් ජයගත මැනව. සමිඳාණන් වහන්සේ එය රජු අතට පාවා දෙන සේකැ”යි කීවෝ ය.</verse>
				<verse number="12">මීකායා කැඳවාගෙන එන්න ගිය පණිවුඩකාරයා ඔහුට කතා කොට, “බලන්න, දිවැසිවරුන්ගේ වචනවලින් එක ලෙස ම රජු ගැන සුබ දෙයක් ම කියැවේ. ඒ නිසා ඔබේ වචනයත් ඔවුන්ගෙන් කෙනෙකුගේ වචන ම මෙන් වන පිණිස, සුබ දෙයක් ම කියන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="13">මීකායා ද, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා මාගේ දෙවියන් වහන්සේ කියන දෙය ම කතා කරන්නෙමි”යි කීවේ ය.</verse>
				<verse number="14">ඔහු රජු ළඟට ආ කල රජු ඔහුට කතා කොට, “මීකායා, අප යුද්ධ පිණිස රාමොත්-ගිලියද්ට යන්න ද නැතහොත් මා නොගොස් සිටින්න දැ”යි ඔහුගෙන් ඇසුවේ ය. ඔහු ද, “ගොස් ජයගන්න. ඔව්හු ඔබ අතට පාවා දෙනු ලබන්නෝ ය”යි කී ය.</verse>
				<verse number="15">රජ තෙමේ ඔහු අමතා, “සමිඳාණන් වහන්සේගේ නාමයෙන් සැබෑව මිස වෙන කිසිවක් මට නොකියන ලෙස මම කී වරක් ඔබ දිවුරුවෙම් දැ”යි ඔහුට කී ය.</verse>
				<verse number="16">එවිට ඔහු කතා කොට, “සියලු ඉශ්රායෙල්වරුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් කඳුවල ඉඳිනු දිටිමි. එවිට සමිඳාණන් වහන්සේ ‘මොවුන්ට ස්වාමියෙක් නැත. එකිනෙකා තම තමාගේ ගෙදරට සාමදානයෙන් හැරී යේවා’යි වදාළ සේකැ”යි කීවේ ය.</verse>
				<verse number="17">ඉශ්රායෙල් රජ ද කතා කොට, “ඔහු මා ගැන දිවැස් වැකියෙන් අසුබ දෙයක් මිස සුබ දෙයක් නොකියන්නේ ය කියා මම ඔබට නොකීවෙම් දැ”යි ජෙහෝෂාපාට්ට කීවේ ය.</verse>
				<verse number="18">මීකායා කතා කොට මෙසේ කී ය: “එබැවින් සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න. සමිඳාණන් වහන්සේ තමන් සිංහාසනයෙහි වැඩහිඳිනවා ද මුළු ස්වර්ග සේනාව උන් වහන්සේගේ දකුණු පැත්තේ ද වම් පැත්තේ ද සිටිනවා ද මම දිටිමි.</verse>
				<verse number="19">සමිඳාණන් වහන්සේ ද, ‘ඉශ්රායෙල් රජ වන ආහබ් රාමොත්-ගිලියද්හි දී පරාජය වන පිණිස එහි යන්න ඔහු කැමැති කරවන්නේ කවුරු දැ’යි ඇසූ සේක. එවිට එක් කෙනෙක් මේ ආකාරයට ද අනික් කෙනෙක් ඒ ආකාරයට ද කීවෝ ය.</verse>
				<verse number="20">එකල භූතාත්මයක් පැමිණ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිට, ‘මම ඔහු කැමැති කරවමි’යි කී ය. ‘කුමකින් දැ’යි සමිඳාණන් වහන්සේ ඔහුගෙන් ඇසූ සේක.</verse>
				<verse number="21">‘මම ගොස් ඔහුගේ සියලු දිවැසිවරුන්ගේ මුඛවල මුසාවාදී ආත්මයක් වෙමි’යි ඔහු කීවේ ය. උන් වහන්සේ ද, ‘නුඹ ගොස් ඔහු පොළඹවා ජයගන්න; ගොස් එසේ කරන්නැ’යි වදාළ සේක.</verse>
				<verse number="22">“එබැවින් සමිඳාණන් වහන්සේ ඔබේ මේ දිවැසිවරුන්ගේ මුඛවල මුසාවාදී ආත්මයක් තැබූ සේක. සමිඳාණන් වහන්සේ ඔබ ගැන අසුබ දෙයක් කියා තිබේ.”</verse>
				<verse number="23">මෙය ඇසූ විට කෙනානාගේ පුත් ශෙදෙකියා ළං වී, මීකායාගේ කම්මුලට ගසා, “සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ඔබට කතා කරන්න මා කෙරෙන් ගියේ මොන මාර්ගයෙන් දැ”යි ඇසුවේ ය.</verse>
				<verse number="24">මීකායා ද උත්තර දෙමින්, “බලන්න, ඔබ සැඟවෙන්න ඇතුල් ගෙයකට යන දවසේ දී එය දැන ගන්නෙහි ය”යි කීවේ ය.</verse>
				<verse number="25">ඉශ්රායෙල් රජ කතා කොට, “ඔබ මීකායා ගෙන නුවර අධිපතියා වන ආමොන් ද රජුගේ පුත් ජෝවාෂ් ද ළගට ගොස්, ‘මොහු හිරගෙහි ලා,</verse>
				<verse number="26">මා සාමදානයෙන් හැරී එන තුරු මොහුට කන්න රොටි ද බොන්න වතුර ද පමණක් දෙන්න’ කියා කියන්නැ”යි පැවසී ය.</verse>
				<verse number="27">මීකායා ද උත්තර දෙමින්, “ඔබ ඇත්තට ම සුව සේ හැරී එන්නෙහි නම්, සමිඳාණන් වහන්සේ මා ලවා කතා කෙළේ නැත. ජනයෙනි, ඔබ සියල්ලන් ම මෙය අසන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="28">මෙසේ ඉශ්රායෙල් රජ ද ජුදාහි රජ වන ජෙහෝෂාපාට් ද රාමොත්-ගිලියද්ට විරුද්ධ ව සටනට ගියෝ ය.</verse>
				<verse number="29">ඉශ්රායෙල් රජ ජෙහෝෂාපාට්ට කතා කොට, “මම වෙස් මාරු කරගෙන යුද්ධයට යන්නෙමි. එහෙත්, ඔබ ඔබේ වස්ත්‍ර හැඳගත මැනව”යි කීවේ ය. මෙසේ ඉශ්රායෙල් රජ වෙස් මාරු කරගත් පසු ඔව්හු සටනට ගියෝ ය.</verse>
				<verse number="30">සිරියාවේ රජ තමාගේ රථාධිපතීන්ට කතා කරමින්, “ඉශ්රායෙල් රජු සමඟ මිස, ලොකු කුඩා වෙන කිසිවෙකු සමඟ සටන් නොකරන්නැ”යි අණකර තිබුණේ ය.</verse>
				<verse number="31">රථාධිපතීහු ජෙහෝෂාපාට් දුටු විට, “මොහු ඉශ්රායෙල් රජ ය”යි ඔහුට විරුද්ධ ව සටන් කරන්න ඔහු වට කරගත්තෝ ය. එවිට ජෙහෝෂාපාට් මොරගැසී ය. සමිඳාණන් වහන්සේ ඔහුට පිහිට වී ඔහු වෙතින් ඔවුන් අහක් කර වූ සේක.</verse>
				<verse number="32">ඔහු ඉශ්රායෙල් රජු නොවන බව රථාධිපතීහු දැක, ඔහු ලුහුබැඳයාමෙන් ආපසු හැරුණෝ ය.</verse>
				<verse number="33">එහෙත්, එක්තරා මනුෂ්‍යයෙක් දුන්න තැත්කවා, නොදැන ම ඉශ්රායෙල් රජුගේ සන්නාහයේ සන්ධි අතරෙන් ඔහුට විද්දේ ය. එවිට ඔහු රථාචාර්යාට කතා කොට, ඔබ ආපසු හැරී, සේනාවෙන් පිටතට මා ගෙන යන්න. මන්ද, මට හොඳට ම තුවාළ ය”යි කීවේ ය.</verse>
				<verse number="34">ඒ දවස ගත වීමත් සමඟ යුද්ධය තදබල විය. එසේ වී නමුත්, ඉශ්රායෙල් රජ සවස වන තුරු සිරියන්වරුන්ට ඉදිරියෙන් ආධාර ඇති ව රථයේ කෙළින් සිටුවනු ලැබූ පසු, ඉර බසින වේලාව පමණේ දී මළේ ය.</verse>
			</chapter>
			<chapter number="19">
				<verse number="1">ජුදාහි රජ වන ජෙහෝෂාපාට් ජෙරුසලමේ තම මාලිගාවට සුව සේ හැරී ගියේ ය.</verse>
				<verse number="2">එහෙත්, හනානීගේ පුත් ජේහු නම් දිවැසිවරයා ජෙහෝෂාපාට්ගේ පෙරමඟට පිටත් ව ගොස්, ඔහුට කතා කොට, “දුෂ්ටයාට උපකාර කිරීමත්, සමිඳාණන් වහන්සේට වෛර වන්නන්ට ප්‍රේම කිරීමත් ඔබට යුතු ද? මේ කාරණය නිසා ඔබට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස පැමිණ තිබේ.</verse>
				<verse number="3">එසේ වුවත්, ඔබ දේශයෙන් අෂේරා කප් කණු පහකර දැමීම ද දෙවියන් වහන්සේ සෙවීමට ඔබේ සිත යොමු කිරීම ද යන යහපත් ක්‍රියා කර ඇත්තේ ය”යි කීවේ ය.</verse>
				<verse number="4">ජෙහෝෂාපාට් ජෙරුසලමෙහි කලක් වාසය කොට, බෙයර්-ෂෙබා පටන් එප්‍රායිම් කඳු රට දක්වා සෙනඟ අතරට ගොස්, ඔවුන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත ඔවුන් නැවත හරවා ගත්තේ ය.</verse>
				<verse number="5">ඔහු ජුදා දේශයේ සියලු බලකොටු නගරවල, නගරයක් නගරයක් පාසා විනිශ්චයකාරයන් සිටුවා කතා කොට,</verse>
				<verse number="6">“ඔබ හැම කරන්නේ කුමක් ද කියා වග බලාගන්න. මන්ද, ඔබ විනිශ්චය කරන්නේ, මනුෂ්‍යයා උදෙසා නොව, සමිඳාණන් වහන්සේ උදෙසා ය. විනිශ්චයයේ දී උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක.</verse>
				<verse number="7">එබැවින් සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව ප්‍රවේසමින් ක්‍රියා කරන්න. මන්ද, අපේ දෙවි සමිඳාණන් වහන්සේ වංචාවක් වත්, අයුක්තියක් වත්, අල්ලස් ගැනීමක් වත් නොකරන කෙනෙකු වන බැවිනි”යි විනිශ්චයකාරයන්ට කීවේ ය.</verse>
				<verse number="8">තවද, ජෙහෝෂාපාට් සමිඳාණන් වහන්සේ වෙනුවෙන් විනිශ්චය කිරීමටත්, නඩු හබ විසඳීමටත් ලෙවීවරුන්ගෙන් ද පූජකයන්ගෙන් ද ඉශ්රායෙල් පිය වංශවල ප්‍රධානීන්ගෙන් ද සමහර අය ජෙරුසලමට පත් කෙළේ ය. ඔව්හු ජෙරුසලමට හැරී ආවෝ ය.</verse>
				<verse number="9">ඔහු ඔවුන්ට අණ කොට, “සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව විශ්වාසවන්තකමින් ද මුළු සිතින් ද මෙසේ කරන්න.</verse>
				<verse number="10">තමන්ගේ නගරවල වාසය කරන ඔබේ සහෝදරයන්ගේ ලේ වැගිරවීම ගැන වත්, ව්‍යවස්ථාව සහ ආඥාව ගැන වත්, පණත් හා විනිශ්චයයන් ගැන වත් ඔබ වෙත පැමිණෙන සියලු පැමිණිලිවල දී ඔවුන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව වරදකාරයන් නොවන පිණිසත්, ඔබ සහ ඔබේ සහෝදරයන්ට විරුද්ධ ව උදහස නොපැමිණෙන පිණිසත් ඔවුන්ට අවවාද කරන්න. ඔබ වරදකාරයන් නොවන පිණිස මෙසේ කරන්න.</verse>
				<verse number="11">මෙන්න, සමිඳාණන් වහන්සේගේ සියලු කටයුතු ගැන උත්තම පූජක වන අමරියා ද, රජුගේ සියලු කටයුතු ගැන ජුදා වංශයේ අධිපතියා වන ඉෂ්මායෙල්ගේ පුත් සෙබදියා ද ඔබ හැමගේ ප්‍රධානියෝ ය. ලෙවීවරු ද ඔබ ඉදිරියෙහි නිලධාරීහු වෙති. ධෛර්යවත් ව ක්‍රියා කරන්න. උපදෙස් පිළිපදින්න. සමිඳාණන් වහන්සේ ඔබට යහපත සලසන සේක් වා!”යි කීවේ ය.</verse>
			</chapter>
			<chapter number="20">
				<verse number="1">මින්පසු මෝවබ්වරු ද අම්මොන්වරු ද ඔවුන් සමඟ මෙයුනිවරුන්ගෙන් සමහරෙක් ද ජෙහෝෂාපාට්ට විරුද්ධ ව යුද්ධයට ආවෝ ය.</verse>
				<verse number="2">එවිට සමහරෙක් අවුත්, ජෙහෝෂාපාට්ට කතා කොට, “මුහුද එගොඩින් ඒදොම්හි සිට මහත් සමූහයක් ඔබට විරුද්ධ ව එන්නාහ. ඔව්හු හශශොන්-තාමාර්හි හෙවත් එන්-ගෙදියෙහි සිටිති”යි දැන්වූ හ.</verse>
				<verse number="3">එවිට ජෙහෝෂාපාට් බිය වී, සමිඳාණන් වහන්සේට යැදීමට ඉටාගෙන ජුදා මුළුල්ලෙහි උපවාසයක් ප්‍රකාශ කෙළේ ය.</verse>
				<verse number="4">සමිඳාණන් වහන්සේගෙන් පිහිට ඉල්ලන පිණිස ජුදාවරු රැස් වූවෝ ය. ජුදාහි සියලු නගරවලින් ඔව්හු සමිඳාණන් වහන්සේට යැදීමට ආවෝ ය.</verse>
				<verse number="5">එවිට ජෙහෝෂාපාට් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි අලුත් මළුව ඉදිරිපිට, ජුදා දේශයේ සහ ජෙරුසලමේ සිට රැස් වූ සභාව මැද සිට මෙසේ කීවේ ය:</verse>
				<verse number="6">“අපේ පියවරුන්ගේ දෙවි සමිඳුනි, ඔබ ස්වර්ගයෙහි දෙවියන් වහන්සේ නොවන සේක් ද? ජාතීන්ගේ සියලු රාජ්‍යයන් කෙරෙහි ආණ්ඩු කරන්නේත් ඔබ වහන්සේ නොවන සේක් ද? ඔබේ හස්තයේ බලය හා පරාක්‍රමය තිබේ. ඔබට විරුද්ධ ව සිටින්න පුළුවන් කෙනෙකුත් නැත.</verse>
				<verse number="7">අපේ දෙවියන් වහන්ස, ඔබේ සෙනඟ වන ඉශ්රායෙල් ඉදිරිපිටින් ඔබ වහන්සේ ම මේ දේශයේ වැසියන් පන්නා දමා, ඔබේ මිත්‍ර වන ආබ්‍රහම්ගේ වංශයට එය සදහට ම නුදුන් සේක් ද?</verse>
				<verse number="8">ඔව්හු මෙහි වාසය කොට, ඔබේ නාමයට මෙහි ශුද්ධස්ථානයක් ගොඩනඟා කතා කොට,</verse>
				<verse number="9">‘අප පිට යම් විපත්තියක් එනම්, යුද්ධයක් හෝ දඬුවමක් හෝ වසංගතයක් හෝ සාගතයක් හෝ පැමිණියොත්, ඔබේ මේ මාලිගාව ඔබේ නාමය දරන නිසා, අපි මේ මාලිගාවෙහි හා ඔබ ඉදිරියෙහි සිට අපේ දුකේ දී ඔබට යාච්ඤා කරන්නෙමු, එවිට ඔබ ඇහුම්කන් දී අප ගළවන සේකැ’යි කීවෝ ය.</verse>
				<verse number="10">“බැලුව මැනව, ඉශ්රායෙල්වරුන් මිසරයෙන් ආ කල, අම්මොන්වරුන් සහ මෝවබ්වරුන් ද සේයිර් කඳුකරේ වැසියන් ද අතරට පැමිණෙන්න ඔබ ඔවුන්ට ඉඩ නුදුන් බැවින්, ඔව්හු ඔවුන් විනාශ නොකර ඔවුන් වෙතින් අහක් ව ගියෝ ය.</verse>
				<verse number="11">එහෙත්, ඔබ අපට හිමිකර දුන් ඔබේ උරුමයෙන් අප පන්නා දමන්න ඊමෙන් ඔවුන් අපට ප්‍රතිඵල දෙන හැටි බැලුව මැනව.</verse>
				<verse number="12">අපේ දෙවියන් වහන්ස, ඔබ ඔවුන් විනිශ්චය නොකරන සේක් ද? මන්ද, අපට විරුද්ධ ව එන මේ විශාල සෙනඟ ඉදිරියෙහි සිටින්න අපට ශක්තිය නැත: අපි කුමක් කරමු ද කියාත් නොදනිමු. එබැවින්, අපේ ඇස් ඔබ දෙස ම යොමු කර තිබේ.”</verse>
				<verse number="13">ජුදා දේශයේ පිරිමි සියල්ලෝ ම තමන්ගේ අත දරුවන් ද භාර්යාවන් ද දරුවන් ද සමඟ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටියෝ ය.</verse>
				<verse number="14">එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය සභාව මැද සිටි ආසාප්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වන ලෙවීය මත්තනියාගේ පුත් ජෙයීයෙල්ගේ පුත්‍රයා වන බෙනායාගේ පුත් ශෙකරියාගේ පුත්‍රයා වන ජහසියෙල් මත පහළ විය.</verse>
				<verse number="15">ඔහු කතා කොට, “සියලු ජුදාවරුනි, ජෙරුසලම් වැසියෙනි, ජෙහෝෂාපාට් රජතුමෙනි, සවන් දෙන්න. සමිඳාණන් වහන්සේ ඔබ හැමට මෙසේ කියන සේක: ‘මේ විශාල සමූහය නිසා බිය නොවන්න; නොකැළඹෙන්න, මන්ද, මේ යුද්ධය ඔබ සැමගේ නොව දෙවියන් වහන්සේගේ වන බැවිනි.</verse>
				<verse number="16">හෙට ඔවුන්ට විරුද්ධ ව යන්න. බලන්න, ඔව්හු ශීශ් නම් බෑවුමෙන් නැඟී එති; ජෙරුයෙල් පාළුකරය ඉදිරිපිට මිටියාවතේ කෙළවර දී ඔව්හු ඔබ සියල්ලන්ට සම්බ වන්නෝ ය.</verse>
				<verse number="17">ජුදාවරුනි, ජෙරුසලමේ වැසියෙනි, මේ යුද්ධයේ දී ඔබ සටන් කරන්න ඕනෑ නැත.’ සැරසී නිශ්චල ව සිට සමිඳාණන් වහන්සේ ඔබට දෙන ගැළවීම බලා සිටින්න. සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින නිසා බිය නොවී, නොකැළඹී, හෙට ඔවුන් වෙත පිටත් ව යන්නැ”යි පැවසී ය.</verse>
				<verse number="18">එවිට ජෙහෝෂාපාට් බිමට නැමුණේ ය. සියලු ජුදාවරු ද ජෙරුසලමේ වැසියෝ ද සමිඳාණන් වහන්සේට නමස්කාර කරමින් උන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටුණෝ ය.</verse>
				<verse number="19">කොහාත්වරුන්ගේ පුත්‍රයන් ද කොරාවරුන්ගේ පුත්‍රයන් ද වන ලෙවීවරු ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ඉමහත් හඬකින් ප්‍රශංසා කිරීමට පටන් ගත්හ.</verse>
				<verse number="20">ඔව්හු පසු දා අලුයම නැඟිට තෙකෝවා පාළුකරයට පිටත් ව ගියෝ ය. ඔවුන් පිටත් වෙද්දී ජෙහෝෂාපාට් නැඟිට කතා කොට, “ජුදාවරුනි, ජෙරුසලමේ වැසියෙනි, මාගේ වචන අසන්න, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න. එවිට ඔබ සුරක්ෂිත වන්නහු ය. උන් වහන්සේගේ දිවැසිවරුන් විශ්වාස කරන්න. එවිට ඔබ ජයග්‍රාහී වන්නහු ය”යි කීවේ ය.</verse>
				<verse number="21">ඔහු සෙනඟ සමඟ සම්මන්ත්‍රණය කොට සමිඳාණන් වහන්සේට ගායනා කරන්නන් පත් කෙළේ ය. ඔව්හු නමස්කාරයට සුදුසු ඇඳුම් ලා ගෙන යුද්ධ සේනාවට පෙරටු ව යමින්, උන් වහන්සේට ප්‍රශංසා කරමින්, “සමිඳාණන් වහන්සේට ස්තුති කරන්න; මන්ද, උන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය”යි ගැයුවෝ ය.</verse>
				<verse number="22">ඔවුන් ප්‍රීති ඝෝෂාව ද ප්‍රශංසාව ද පටන්ගත් වේලාවේ දී ජුදාහි ජනයාට විරුද්ධ ව අවුත් සිටි අම්මොන්වරුන්ට සහ මෝවබ්වරුන්ට ද සේයිර් කඳුකරයේ වැසියන්ට ද විරුද්ධ ව සැඟවී සිට පහර දෙන සේනාවක් සමිඳාණන් වහන්සේ සිටවූ සේක. ඔව්හු පැරදුණෝ ය.</verse>
				<verse number="23">මන්ද, අම්මොන්වරු සහ මෝවබ්වරු සේයිර් කඳුකරයේ වැසියන් නසා වනසන පිණිස ඔවුන්ට විරුද්ධ ව සටනට ගියහ. සේයිර් වැසියන් මුළුමනින් ම නැති කළ පසු ඔව්හු එකෙකු අනිකෙකු විනාශ කරන්න උපකාර වූ හ.</verse>
				<verse number="24">ජුදාවරු වනාහි පාළුකරයේ මුරකොටුව උඩට අවුත් ඒ සමූහයා දෙස බැලූ විට, ඔවුන් මළකඳන් ව බිම වැටී සිටිනු දුටුවෝ ය. ගැළවී ගිය කිසිවෙක් ද නොසිටියේ ය.</verse>
				<verse number="25">ජෙහෝෂාපාට් ද ඔහුගේ සෙනඟ ද ඔවුන්ගෙන් කොල්ලය ගන්න ආ කල, ගවයන් ද වස්තුව ද වස්ත්‍ර ද අනර්ඝ බඩු ද ඔවුන්ට සම්බ විය. ගෙනයන්න බැරි තරමට ඔව්හු ඒවා එකතු කරගත්තෝ ය. කොල්ලය අධික බැවින් ඔව්හු තුන් දවසක් ඒවා එකතු කරමින් සිටියහ.</verse>
				<verse number="26">සතර වන දා ඔව්හු බෙරාකා මිටියාවතේ රැස් වුණෝ ය. ඔවුන් එහි දී සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කළ බැවින් අද දක්වා තිබෙන පරිදි ඒ ස්ථානයට බෙරාකා මිටියාවත යයි කියන ලද්දේ ය.</verse>
				<verse number="27">එවිට ජුදාහි සහ ජෙරුසලමේ සියලු මනුෂ්‍යයෝ ද ඔවුන්ට පෙරටුව ජෙහෝෂාපාට් ද ප්‍රීතියෙන් ජෙරුසලමට හැරී යන්න පිටත් වුණෝ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ සතුරන් ගැන ප්‍රීති වන්න ඔවුන්ට සැලැස්සූ බැවිනි.</verse>
				<verse number="28">ඔව්හු වීණා ද මහා වීණා ද හොරණෑ ද ඇති ව ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ආවෝ ය.</verse>
				<verse number="29">සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ගේ සතුරන්ට විරුද්ධ ව සටන් කළ බව දේශ දේශාන්තරවල රාජ්‍යයන් ඇසූ විට, ඔව්හු දෙවියන් වහන්සේ ගැන භීතියට පත් වූ හ.</verse>
				<verse number="30">මෙසේ ජෙහෝෂාපාට්ගේ රාජ්‍යය සාමකාමී ව පැවතුණේ ය. එසේ වූයේ, ඔහුගේ දෙවියන් වහන්සේ හාත්පසින් ම ඔහුට සාමදානය දුන් බැවිනි.</verse>
				<verse number="31">ජෙහෝෂාපාට් ජුදා දේශයෙහි රජකම් කෙළේ ය. ඔහු සිංහාසනාරූඪ වන කල අවුරුදු තිස්පහක් වයස් ව සිටියේ ය. ඔහු ජෙරුසලමෙහි විසිපස් අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම අශුබා ය. ඈ ෂිල්හිගේ දුව ය.</verse>
				<verse number="32">ඔහු තමාගේ පිය වන ආසාගේ අඩි පාරේ ගමන් කරමින් එයින් අහක් නොවී, සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි යහපත් දේ කෙළේ ය.</verse>
				<verse number="33">එසේ වුවත්, ගිරිකුළු දේවාල විනාශ නොකරන ලද්දේ ය. ඒ වන තුරු සෙනඟ තමන්ගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ දෙසට තමන්ගේ සිත් යොමු කෙළේ නැත.</verse>
				<verse number="34">ජෙහෝෂාපාට්ගේ ඉතිරි ක්‍රියා මුල පටන් අග දක්වා ඉශ්රායෙල් රජුන්ගේ ග්‍රන්ථයෙහි අන්තර්ගත ය. ඒවා හනානිගේ පුත් ජේහුගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තාකර තිබේ.</verse>
				<verse number="35">මින්පසු ජුදාහි රජ වූ ජෙහෝෂාපාට් ඉතා දුර්ජන ලෙස හැසුරුණු ඉශ්රායෙල් රජ වූ අහසියාට එකතු වුණේ ය.</verse>
				<verse number="36">ඔහු තර්ෂිෂ්ට යාමට නැව් සාදන පිණිස ඔහුට එකතු විය. ඔව්හු එශියොන්-ගෙබෙර්හි නැව් සෑදුවෝ ය.</verse>
				<verse number="37">එවිට මරේෂාහි දෝදාවාහුගේ පුත් එලියෙසර් ජෙහෝෂාපාට්ට විරුද්ධ ව දිවැස් වැකියක් පවසමින්, “ඔබ අහසියාට එකතු වූ නිසා සමිඳාණන් වහන්සේ ඔබේ වැඩ කඩාකප්පල් කළ සේකැ”යි කීයේ ය. තවද, නැව් බිඳී තර්ෂිෂ්ට යන්න ඒවාට බැරි විය.</verse>
			</chapter>
			<chapter number="21">
				<verse number="1">ජෙහෝෂාපාට් මියගිය පසු දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් සමඟ තැන්පත් කරන ලද්දේ ය. ඔහුගේ පුත් ජෙහෝරාම් ඔහු වෙනුවට රජ විය.</verse>
				<verse number="2">ජෙහෝෂාපාට්ගේ පුත්‍රයන් වන අශරියා, ජෙහීයෙල්, ශෙකරියා, අශරියා, මීකායෙල්, ෂෙපටියා යන මොවුහු ඔහුගේ සහෝදරයෝ ය. මේ සියල්ලෝ ඉශ්රායෙල්හි රජ වූ ජෙහෝෂාපාට්ගේ පුත්‍රයෝ ය.</verse>
				<verse number="3">ඔවුන්ගේ පියා රන් රිදී ද අනර්ඝ දේවල් ද වන බොහෝ තෑගි ද ජුදාහි බලකොටු නගර ද ඔවුන්ට දුන්නේ ය. එහෙත්, ජෙහෝරාම් කුලුඳුලා නිසා ඔහුට රාජ්‍යය බාර දුන්නේ ය.</verse>
				<verse number="4">ජෙහෝරාම් තම පියාගේ රාජ්‍යයට පැමිණ බලවත් වූ කල, තමාගේ සියලු සහෝදරයන් ද ඉශ්රායෙල්හි සමහර අධිපතීන් ද කඩුවෙන් මැරී ය.</verse>
				<verse number="5">ජෙහෝරාම් තිස්දෑවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමෙහි අට අවුරුද්දක් රජකම් කෙළේ ය.</verse>
				<verse number="6">ආහබ්ගේ වංශය කළ පරිදි ඔහු ඉශ්රායෙල් රජුන්ගේ අඩි පාරේ ගමන් කෙළේ ය. මන්ද, ඔහු ආහබ්ගේ දුවක සරණ පාවා ගත්තේ ය. මෙසේ ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.</verse>
				<verse number="7">එහෙත්, සමිඳාණන් වහන්සේ දාවිත් සමඟ කළ ගිවිසුම නිසා ද ඔහුටත්, ඔහුගේ දරුවන්ටත් සෑමකල්හි ම නොනිවෙන පහනක් සේ එහි රජකම දෙන්න පොරොන්දු වූ නිසා ද දාවිත්ගේ වංශය නැති කරන්න අකමැති වූ සේක.</verse>
				<verse number="8">ඔහුගේ කාලයේ දී ඒදොම්වරු කැරලි ගසා ජුදාවරුන් යටතෙන් අහක් ව තමන්ට රජෙකු පත්කර ගත්තෝ ය.</verse>
				<verse number="9">එවිට ජෙහෝරාම් තමාගේ අධිපතීන් ද සියලු රථ ද සමඟ ගොස්, රාත්‍රියේ නැඟිට, තමා වටකර සිටි ඒදොම්වරුන්ටත්, රථාධිපතීන්ටත් පහර දුන්නේ ය.</verse>
				<verse number="10">මෙසේ ඒදොම්වරු අද දක්වා ජුදාවරුන්ගේ පාලනයෙන් ඉවත් වී සිටිති. තවද, ලිබ්නාවරුත් එම කාලයේ දී කැරලි ගසා ඔහුගේ පාලනයෙන් ඉවත් වූ හ. මෙසේ වූයේ, ඔහු තමාගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත් හැරිය නිසා ය.</verse>
				<verse number="11">ඇරත්, ඔහු ජුදා ගිරිකුළු දේවාල සාදා, ජෙරුසලමේ වැසියන් අන් දෙවිවරුන් ඇදහීමට පොළඹවා ජුදාවරුන් මුළා කරවී ය.</verse>
				<verse number="12">තවද, දිවැසිවර එලියා විසින් ලියන ලද ලියවිල්ලක් ඔහුට ලැබුණේ ය. එහි ලියා තිබුණේ, “ඔබේ පියා වන දාවිත්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. ඔබේ පිය වූ ජෙහෝෂාපාට්ගේ අඩි පාරේත්, ජුදාහි රජ වූ ආසාගේ අඩි පාරේත් ඔබ නොගොස්,</verse>
				<verse number="13">ඉශ්රායෙල් රජුන්ගේ අඩි පාරේ ගමන් කරමින්, ආහබ්ගේ වංශය කළ පරිදි ජුදාවරුන් ද ජෙරුසලමේ වැසියන් ද අන් දෙවිවරුන් ඇදහීමට පමුණුවා, ඔබේ පියාගේ වංශය වන, ඔබට වඩා යහපත් වන ඔබේ සහෝදරයන් මැරූ බැවින්,</verse>
				<verse number="14">සමිඳාණන් වහන්සේ ඔබේ සෙනඟටත්, ඔබේ දරුවන්ටත්, ඔබේ භාර්යාවන්ටත්, ඔබේ සියලු සම්පත්වලටත් මහත් පීඩාවකින් පීඩා කරනු ඇත.</verse>
				<verse number="15">ඔබේ බඩවැල් දවසින් දවස රෝගාතුරකමෙන් වැටී යන ලෙස ඒවායෙහි දරුණු රෝග වන්නේ ය” කියා ය.</verse>
				<verse number="16">එලෙස සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන්ගේ ද කුෂ්වරුන්ට ළං ව වාසය කරන අරාබිවරුන්ගේ ද සිත් ජෙහෝරාම්ට විරුද්ධ ව පෙළඹෙවූ සේක.</verse>
				<verse number="17">ඔව්හු ජුදාට විරුද්ධ ව අවුත් ඇතුළට වැද රජ ගෙදර තිබූ සම්පත් සියල්ල ද ඔහුගේ පුත්‍රයන් ද භාර්යාවන් ද රැගෙන ගියෝ ය. ඔහුගේ පුත්‍රයන්ගෙන් බාලයා වූ අහසියා හැර වෙන කිසි පුත්‍රයෙක් ඔහුට ඉතිරි නො වී ය.</verse>
				<verse number="18">මේ සියල්ලට පසු ඔහුගේ බඩවැල් වල වැළඳි අසාධ්‍ය රෝගයකින් සමිඳාණන් වහන්සේ ඔහුට පහර දුන් සේක.</verse>
				<verse number="19">එම රෝගය කලක් පැවතිණි. දෑවුරුද්දක් පසු වූ කල, ඒ රෝගය නිසා ඔහුගේ බඩවැල් වැටී ගියේ ය. ඔහු ද දරුණු රෝග වේදනාවෙන් මළේ ය. ඔහුගේ පියවරුන්ගේ ගෞරවය ලෙස ගිනි මැලයක් දැල් වූ පරිදි ඔහුගේ සෙනඟ ඔහු ගැන ගිනි මැලයක් නොදැල් වූ හ.</verse>
				<verse number="20">ඔහු තිස්දෑවුරුදු වයසේ දී රජ වී අට අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මරණය ගැන කිසිවෙක් කණගාටු නො වූ හ. ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත් කළෝ ය. එහෙත්, තැන්පත් කෙළේ රජවරුන්ගේ සොහොන් ගෙවල්හි නොවේ.</verse>
			</chapter>
			<chapter number="22">
				<verse number="1">ජෙරුසලමේ වැසියෝ රජුගේ බාල පුත් අහසියා ඔහු වෙනුවට රජකමට පත් කළෝ ය. මන්ද, අරාබිවරුන් සමඟ කඳවුරට ආ හමුදාව රජුගේ සියලු වැඩිමහල් පුත්‍රයන් මරා දමා තිබිණි. එබැවින් ජුදාහි රජ වූ ජෙහෝරාම්ගේ පුත් අහසියා රජකම් කෙළේ ය.</verse>
				<verse number="2">අහසියා හතළිස්දෑවුරුදු වයසේ දී රජ වී අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම අතලියා ය. ඈ ඔම්රීගේ මිණිබිරියකි.</verse>
				<verse number="3">ඔහු ද ආහබ්ගේ වංශයෙන් පැවතෙන්නන්ගේ අඩි පාරේ ගමන් කෙළේ ය. මන්ද, දුෂ්ටකම් කිරීමට ඔහුගේ මවු තොමෝ ඔහුට උපදෙස් දුන්නා ය.</verse>
				<verse number="4">ආහබ්ගේ වංශය කළාක් මෙන් ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කළේ ය. මන්ද, ඔහුට විනාශය පැමිණෙන ලෙස ඔව්හු ඔහුගේ පියාගේ මරණයෙන් පසු ඔහුගේ උපදේශකයෝ වූ හ.</verse>
				<verse number="5">ඔහුත් ඔවුන්ගේ අවවාද ලෙස හැසිර, ආහබ්ගේ පුත් ඉශ්රායෙල් රජ වූ ජෙහෝරාම් සමඟ සිරියාවේ රජ වූ හසායෙල්ට විරුද්ධ ව රාමොත්-ගිලියද්හි යුද්ධයට ගියේ ය. සිරියන්වරු ජෙහෝරාම්ට තුවාළ කළෝ ය.</verse>
				<verse number="6">ඔහු සිරියාවේ රජ වූ හසායෙල්ට විරුද්ධ ව සටන් කරන අතර, රාමාහි දී සිරියන්වරුන් විසින් ඔහුට කරන ලද තුවාළ ජෙශ්‍රෙයෙල්හි දී සුව කරවාගන්න පිණිස හැරී ආවේ ය. ජුදාහි රජ ජෙහෝරාම්ගේ පුත් අහසියා ද ආහබ්ගේ පුත් ජෙහෝරාම් රෝගාතුර ව සිටි බැවින් ඔහු බලන්න ජෙශ්‍රෙයෙල්ට ගියේ ය.</verse>
				<verse number="7">ජෙහෝරාම් ළඟට යාම නිසා අහසියාට වූ විනාශය දෙවියන් වහන්සේ කෙරෙන් විය. මන්ද, ඔහු ගිය කල ආහබ්ගේ වංශය වනසන පිණිස සමිඳාණන් වහන්සේ විසින් අභිෂේක කරන ලද නිම්ෂිගේ පුත් ජේහුට විරුද්ධ ව ඔහු ජෙහෝරාම් සමඟ ගියේ ය.</verse>
				<verse number="8">තවද, ජේහු ආහබ්ගේ වංශය කෙරෙහි විනිශ්චය ඉෂ්ට කරද්දී ජුදාහි අධිපතීන් ද අහසියාට සේවය කළ අහසියාගේ සහෝදරයන්ගේ පුත්‍රයන් ද සම්බ වී ඔවුන් මැරුවේ ය.</verse>
				<verse number="9">ඔහු අහසියා සොයා ගියේ ය. ඔව්හු සමාරියේ සැඟවී සිටි ඔහු අල්ලා ජේහු ළඟට ගෙනවුත් මැරුවෝ ය. තවද, ඔව්හු කතා කොට, “මොහු වනාහි තමාගේ මුළු සිතින් සමිඳාණන් වහන්සේ සොයා ගිය ජෙහෝරාම්ගේ පුත්‍රයා ය”යි ඔහු තැන්පත් කළෝ ය. රාජ්‍යය ගෙන යාමට අහසියාගේ වංශයේ කිසිවෙක් සිටියේ නැත.</verse>
				<verse number="10">එකල අහසියාගේ මව වූ අතලියා තමාගේ පුත්‍රයා මළ බව දැක, නැඟිට මුළු ජුදා රාජ වංශය නැති කළා ය.</verse>
				<verse number="11">එහෙත්, රජුගේ දූ වන ජෙහෝෂබත් මරන්න නියම රාජ පුත්‍රයන් අතරෙන් අහසියාගේ පුත් ජෝවාෂ් හොරෙන් හැරගෙන ගොස්, ඔහු ද ඔහුගේ කිරි මව ද යහන් ගබඩාවෙහි සඟවා තැබුවා ය. මෙසේ ජෙහෝරාම් රජගේ දූ වූ, ජෙහෝයාදා පූජකයාගේ භාර්යාව වූ අහසියාගේ සහෝදරී වූ ජෙහෝෂබත්, අතලියා විසින් නොමරනු ලබන ලෙස ඈ කෙරෙන් ඔහු සැඟෙවුවා ය.</verse>
				<verse number="12">ඔහු දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි ඔවුන් සමඟ අවුරුදු හයක් සැඟවී සිටියේ ය. අතලියා දේශයෙහි රජකම් කළා ය.</verse>
			</chapter>
			<chapter number="23">
				<verse number="1">සත් වන අවුරුද්දේ දී ජෙහෝයාදා ධෛර්ය වඩා, ශතාධිපතීන් වන ජෙරෝහාම්ගේ පුත් අශරියා ද ජෙහෝහානාන්ගේ පුත් ඉෂ්මායෙල් ද ඕබෙද්ගේ පුත් අසරියා ද අදායාගේ පුත් මයසේයා ද ශික්රිගේ පුත් එලිෂාපාට් ද සමඟ ගිවිසුමක් කර ගත්තේ ය.</verse>
				<verse number="2">ඔව්හු ජුදා දේශයෙහි ඔබමොබ ගොස්, ජුදාහි සියලු නගරවලින් ලෙවීවරුන් ද ඉශ්රායෙල්වරුන්ගේ පිය වංශවල ප්‍රධානීන් ද රැස් කරගෙන ජෙරුසලමට ආවෝ ය.</verse>
				<verse number="3">මුළු සභාව දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි රජු හා සමඟ ගිවිසුමක් කරගත්තා ය. ජෙහෝයාදා ඔවුන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේ දාවිත්ගේ පුත්‍රයන් ගැන කී ප්‍රකාරයට රජුගේ පුත්‍රයා රජකමට පත් විය යුතු ය.</verse>
				<verse number="4">ඔබ හැම කරන්නට ඕනෑ දේ මේ ය. සබත් දවසේ දී දේව මාලිගාවට ඇතුල් වන පූජකයන් ද ලෙවීවරුන් ද වන ඔබෙන් තුනෙන් කොටසක් දොරටු පාලකයන් විය යුතු ය.</verse>
				<verse number="5">තුනෙන් කොටසක් රජ ගෙයි ද තුනෙන් කොටසක් අත්තිවාරම් දොරටුවෙහි ද සිටිය යුතු ය. මුළු සෙනඟ ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි මණ්ඩපවල සිටිත්වා.</verse>
				<verse number="6">එහෙත්, පූජකයන් ද ලෙවීවරුන්ගෙන් සේවය කරන්නන් ද හැර වෙන කිසිවෙක් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුල් නොවෙත්වා. ඔව්හු විශුද්ධ ව සිටින නිසා ඇතුළු වෙත්වා. එහෙත්, මුළු සෙනඟ සමිඳාණන් වහන්සේගේ නියමයන් පිළිපැද්ද යුතු ය.</verse>
				<verse number="7">ලෙවීවරුන් එක් එක්කෙනා තම තමාගේ ආයුධ අතින් ගෙන රජු වටකර සිටිය යුතු ය. දේව මාලිගාවට ඇතුළු වන කවුරුන් නමුත් මරනු ලැබිය යුතු ය. රජු ඇතුළු වන කල්හි ද පිටත යන කල්හි ද ඔබ හැම ඔහු සමඟ සිටින්නැ”යි කීවේ ය.</verse>
				<verse number="8">ලෙවීවරු ද සියලු ජුදාවරු ද ජෙහෝයාදා පූජකයා විසින් අණ කරනු ලැබූ සියල්ල ලෙස කොට, එකිනෙකා තම තමාගේ මිනිසුන් වන, සබත් දවසේ දී ඇතුළු වන තැනැත්තන් පිටත යන තැනැත්තන් සමඟ කැඳවාගත්තෝ ය. මන්ද, ජෙහෝයාදා පූජකයා මුරකාවල් නිදහස් කර නොහැරියේ ය.</verse>
				<verse number="9">එවිට ජෙහෝයාදා පූජකයා දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි තිබූ දාවිත් රජුගේ හෙල්ල ද කුඩා පලිස් සහ මහ පලිස් ද ශතාධිපතීන්ට දී,</verse>
				<verse number="10">මුළු සෙනඟ එකිනෙකා තම තමාගේ ආයුධ අතේ ඇති ව දේව මාලිගාවේ දකුණු පැත්තේ සිට දේව මාලිගාවේ වම් පැත්ත දක්වා පූජාසනයත්, දේව මාලිගාවත් ළඟ රජු වටකර සිටෙව්වේ ය.</verse>
				<verse number="11">ඉන්පසු ඔව්හු රජ කුමාරයා පිටතට ගෙනවුත්, ඔහු මත්තෙහි ඔටුන්න තබා, ව්‍යවස්ථාව ඔහුට දී, ඔහු රජකමට පත් කළෝ ය. ජෙහෝයාදා ද ඔහුගේ පුත්‍රයෝ ද ඔහු අභිෂේක කොට, “මහ රජ සැරදේවා” කියා හඬ නැඟුවහු ය.</verse>
				<verse number="12">සෙනඟ රජ වෙත දුවමින්, රාජ ප්‍රශස්ති ගී ගයන හඬ අතලියාට ඇසුණ විට, ඈ සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සිටි සෙනඟ ළඟට ආවා ය.</verse>
				<verse number="13">ඈ බැලූ විට ඇතුළු වන තැන රජ තෙම තම වේදිකාව උඩ සිටිනවාත්, රජු ළඟ අධිපතීන් ද නළාකාරයන් ද සිටිනවාත් දැක, දේශයේ මුළු සෙනඟ ප්‍රීතිමත් ව හොරණෑ පිඹිණවාත්, ගී කියන්නන් ද තූර්ය භාණ්ඩවලින් ගායනා කරන්නන් ද ප්‍රශස්ති ගී ගයනවාත් අසා, කෝපයෙන් ඇගේ ඇඳුම් ඉරාගෙන, “ද්‍රෝහිකම ය, ද්‍රෝහිකම ය” කියා කෑ ගැසුවා ය.</verse>
				<verse number="14">එවිට ජෙහෝයාදා පූජකයා සේනාවේ ප්‍රධානීන් වන ශතාධිපතීන් පිටතට ගෙනවුත්, ඔවුන්ට කතා කොට, “ඇය පේළි අතරෙන් පිටතට ගෙන එන්න. ඈ පස්සේ යමෙකු ආවොත් ඔහු කඩුවෙන් මරන්නැ”යි අණ කෙළේ ය. “දේව මාලිගාවෙහි දී ඈ මරනු නොලබාවා”යි පූජකයා කියා තිබිණි.</verse>
				<verse number="15">ඔව්හු ඇය අත්අඩංගුවට ගත්හ; ඈ රජ ගෙදරට ගෙන ගියෝ ය. එහි දී අශ්ව දොරටුව ළඟ ඔව්හු ඈ මැරුවෝ ය.</verse>
				<verse number="16">සමිඳාණන් වහන්සේගේ සෙනඟ වී සිටින ලෙස ජෙහෝයාදා තමා සහ මුළු සෙනඟත්, රජුත් අතරේ ගිවිසුමක් කෙළේ ය.</verse>
				<verse number="17">මුළු සෙනඟ බාල් දෙවියාගේ ගෘහයට ගොස් එය කඩා දමා, ඔහුගේ පූජාසන ද ඔහුගේ පිළිම ද බිඳ දමා පූජාසන ඉදිරියෙහි බාල්ගේ පූජකයා වන මත්තන් මැරුවෝ ය.</verse>
				<verse number="18">තවද, දාවිත්ගේ නියමයේ ප්‍රකාරයට ප්‍රීතිය ද ගී ගැයීම ද ඇති ව, සමිඳාණන් වහන්සේගේ දවන යාග පූජා මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන ලෙස ඔප්පු කිරීමට, ජෙහෝයාදා උන් වහන්සේගේ මාලිගාවේ මුර මෙහෙයවල් දාවිත් විසින් උන් වහන්සේගේ මාලිගාවේ සේවයට බෙදා නියම කරන ලද ලෙවීවරුන් වන පූජකයන් අතට බාර කෙළේ ය.</verse>
				<verse number="19">යම් හෙයකින් අපවිත්‍ර කිසිවෙකු ඇතුළු නොවන පිණිස ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරකඩවල දොරටු පාලකයන් සිටෙවුවේ ය.</verse>
				<verse number="20">තවද, ඔහු ශතාධිපතීන් ද වංශාධිපතීන් ද සෙනඟගේ ආණ්ඩුකාරයන් ද දේශයේ මුළු සෙනඟ ද කැඳවාගෙන, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සිට රජු ගෙන ගියේ ය. ඔව්හු ඉහළ දොරටුවෙන් රජ ගෙට පැමිණ රජතුමන් රාජාසනයෙහි වාඩි කරවූ හ. මෙසේ දේශයේ මුළු සෙනඟ ප්‍රීති වූ හ.</verse>
				<verse number="21">නගරය ද සාමකාමී ව තිබුණේ ය. මෙලෙස ඔව්හු අතලියා කඩුවෙන් මැරුවෝ ය.</verse>
			</chapter>
			<chapter number="24">
				<verse number="1">ජෝවාෂ් සත් අවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමෙහි සතළිස් අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම ශිබියා ය. ඈ බෙයර්-ෂෙබාහි ස්ත්‍රියකි.</verse>
				<verse number="2">ජෙහෝයාදා පූජකයාගේ කාලයේ මුළුල්ලෙහි ජෝවාෂ් සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය.</verse>
				<verse number="3">ජෙහෝයාදා ඔහුට භාර්යාවන් දෙදෙනෙකු පාවා දුන්නේ ය. ඔහුට දාව පුත්‍රයෝත්, දූවරුත් උපන්නෝ ය.</verse>
				<verse number="4">ඉන්පසු ජෝවාෂ් සමිඳාණන් වහන්සේගේ මාලිගාව ප්‍රකෘතිමත් කරන්න සිතට ගෙන,</verse>
				<verse number="5">පූජකයන් ද ලෙවීවරුන් ද රැස් කරගෙන ඔවුන්ට කතා කොට, “ඔබ හැම ජුදාහි නගරවලට ගොස් අවුරුද්දෙන් අවුරුද්ද ඔබේ දෙවියන් වහන්සේගේ මාලිගාව අලුත්වැඩියා කරන පිණිස සියලු ඉශ්රායෙල්වරුන්ගෙන් මුදල් එකතු කරන්න. ඒ කාරණය ගැන ඉක්මන්වන්නැ”යි කීවේ ය. එහෙත්, ලෙවීවරු ඉක්මන් නො වූ හ.</verse>
				<verse number="6">එවිට රජ තෙම ප්‍රධානියා වන ජෙහෝයාදා කැඳවා, “සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් ද ඉශ්රායෙල් සභාව ද විසින් සම්මුඛ මණ්ඩපය උදෙසා නියම කරන ලද බදු මිල ලෙවීවරුන් විසින් ජුදා දේශයෙන් සහ ජෙරුසලමෙන් එකතු කර ගෙනෙනු ලබන හැටියට ඔබ වග බලා නොගත්තේ මන්දැ”යි ඇසී ය.</verse>
				<verse number="7">මන්ද දුෂ්ට වූ අතලියා සහ ඇගේ පුත්‍රයන් දෙවියන් වහන්සේගේ මාලිගාව කඩා, උන් වහන්සේගේ මාලිගාවේ කැප වූ සියලු දේවල් බාල් දේවතාවන් උදෙසා පාවිච්චියට ගෙන ගොස් තිබුණු හෙයිනි.</verse>
				<verse number="8">තවද, පෙට්ටියක් සාදා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරකඩ පිටතින් තබන ලෙස රජ අණ කෙළේ ය.</verse>
				<verse number="9">එවිට දෙවියන් වහන්සේගේ මෙහෙකරුවා වූ මෝසෙස් පාළුකරයේ දී ඉශ්රායෙල්වරුන්ට නියම කළ බද්ද සමිඳාණන් වහන්සේ උදෙසා ගෙනෙන්න කියා ජුදාහි සහ ජෙරුසලමෙහි ප්‍රසිද්ධ කරන ලද්දේ ය.</verse>
				<verse number="10">එවිට සියලු අධිපතීහු ද මුළු සෙනඟ ද සන්තෝෂ ව, බදු ගෙවා නිම වන තුරු මුදල් ගෙනවුත් පෙට්ටියේ දැම්මෝ ය.</verse>
				<verse number="11">මෙයාකාරයෙන් ඒ පෙට්ටිය ලෙවීවරුන් ලවා රාජ භාණ්ඩාගාරයට ගෙන්වන විටත්, බොහෝ මුදල් තිබෙන බව දකින විටත්, රජුගේ ලේකම් ද උත්තම පූජකයාගේ සේවකයා ද අවුත් පෙට්ටිය හිස්කර, එය නැවත ගෙන ගොස් පළමු තිබුණු තැන තැබූ හ. ඔව්හු දවසින් දවස මෙසේ කොට බොහෝ මුදල් එකතු කළෝ ය.</verse>
				<verse number="12">රජ සහ ජෙහෝයාදා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මෙහෙයේ කටයුතු කරවන්නට ඒවා දුන්නෝ ය. ඔව්හු උන් වහන්සේගේ මාලිගාව අලුත්වැඩියා කරන පිණිස ගල්වඩුවන් ද වඩුවන් ද උන් වහන්සේගේ මාලිගාව හරිගැස්සීමට යකඩ සහ ලෝකඩ වැඩ කරන්නන් ද කුලියට ගත්හ.</verse>
				<verse number="13">කම්කරුවෝ වීර්යයෙන් වැඩ කළෝ ය. මෙසේ ඔවුන් විසින් ඒ වැඩ සම්පූර්ණ කරන ලදී. ඔව්හු දෙවියන් වහන්සේගේ මාලිගාව නිසි ලෙස පිහිටුවා එය සවි කළෝ ය.</verse>
				<verse number="14">වැඩ නිම කළ පසු ඔව්හු ඉතිරි මුදල රජු සහ ජෙහෝයාදා ඉදිරිපිටට ගෙනාවෝ ය. එයින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට භාණ්ඩ එනම්, මෙහෙයටත්, පූජා ඔප්පු කිරීමටත් බඩු ද හැඳි ද රන් රිදී භාජන ද සාදන ලද්දේ ය. ජෙහෝයාදාගේ මුළු කාලයේ දී සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දවන යාග පූජා නිතර ම ඔප්පු කරන ලද්දේ ය.</verse>
				<verse number="15">එහෙත්, ජෙහෝයාදා මහලු ව දීර්ඝ ආයු වළඳා මළේ ය. මැරෙන කල ඔහුට වයස අවුරුදු එකසිය තිහකි.</verse>
				<verse number="16">ඔහු ඉශ්රායෙල්හි ද දෙවියන් වහන්සේ සහ උන් වහන්සේගේ මාලිගාව උදෙසා ද යහපත කළ බැවින් දාවිත්ගේ නුවර රජවරුන් අතරේ තැන්පත් කරනු ලැබී ය.</verse>
				<verse number="17">ජෙහෝයාදා මියගිය පසු ජුදාහි අධිපතීහු අවුත් රජුට ආචාර කළහ. එවිට රජ ඔවුන්ට සවන් දුන්නේ ය.</verse>
				<verse number="18">ඔව්හු තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාව අත්හැර දමා අෂේරා කප් කණුවලටත්, පිළිමවලටත් සේවය කළෝ ය. ඔවුන්ගේ මේ වරද නිසා ජුදා දේශය ද ජෙරුසලම ද පිට දේව උදහස පැමිණියේ ය.</verse>
				<verse number="19">එහෙත්, ඔවුන් සමිඳාණන් වහන්සේ වෙත හරවන පිණිස උන් වහන්සේ දිවැසිවරුන් ඔවුන් අතරට එවූ සේක. ඒ දිවැසිවරුන් ඔවුන්ට අවවාද කළ නමුත්, ඔව්හු ඇහුම්කන් නුදුන්හ.</verse>
				<verse number="20">දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ජෙහෝයාදා පූජකයාගේ පුත් ශෙකරියා පිට පැමිණියේ ය. ඔහු සෙනඟට ඉහළින් නැඟිට සිට ඔවුන්ට කතා කොට, “දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹලා සමිඳාණන් වහන්සේගේ ආඥා කඩ කරන්නේ මන් ද? නුඹලාට යහපතක් නොවන්නේ ය. නුඹලා සමිඳාණන් වහන්සේ අත්හැරිය නිසා උන් වහන්සේත් නුඹලා අත්හැරිය සේකැ’ ”යි කීවේ ය.</verse>
				<verse number="21">ඔව්හු රජුගේ ආඥාව පිට ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මළුවේ දී ඔහුට ගල් ගැසුවෝ ය.</verse>
				<verse number="22">මෙසේ ජෝවාෂ් රජ ශෙකරියාගේ පිය වූ ජෙහෝයාදා තමාට පෙන් වූ කරුණාව සිහි නොකොට ඔහුගේ පුත්‍රයා මැරී ය. ඔහු මැරෙද්දී කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙය බලා ප්‍රතිවිපාක දෙන සේක්වා”යි කීවේ ය.</verse>
				<verse number="23">ඊළඟ අවුරුද්දෙහි සිරියන්වරුන්ගේ සේනාව ජෝවාෂ්ට විරුද්ධ ව පැමිණියේ ය. ඔව්හු ජුදා දේශයටත්, ජෙරුසලමටත් පැමිණ, සෙනඟ අතරෙන් සෙනඟගේ සියලු අධිපතීන් නැතිකර දමා, ඔවුන්ගෙන් ගත් මුළු කොල්ලය දමස්කයේ රජුට යැවූ හ.</verse>
				<verse number="24">සිරියන්වරුන්ගේ සේනාව ගණනින් ස්වල්ප දෙනෙකු ව පැමිණි නමුත්, ජුදාවරුන් තම පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත්හළ නිසා, සමිඳාණන් වහන්සේ ඉතා විශාල සේනාවක් ඔවුන් අතට පාවා දුන් සේක. මෙසේ ඔව්හු ජෝවාෂ්ට සුදුසු ලෙස දඬුවම් දුන්හ.</verse>
				<verse number="25">ඔහු බොහෝ තුවාළ වී සිටිද්දී ඔවුන් ඔහු අත්හැර ඔහු වෙතින් ගිය පසු, ඔහුගේ සේවකයෝ පූජක වූ ජෙහෝයාදාගේ පුත්‍රයන්ගේ මරණය ගැන ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට ඔහුගේ ඇඳේ දී ඔහු මැරුවෝ ය. මෙසේ ඔහු මියගියේ ය. ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත් කළ නමුත්, රජවරුන්ගේ සොහොන් ගෙවල තැන්පත් නොකළෝ ය.</verse>
				<verse number="26">ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණ කළ අය නම්, අම්මොනිය ස්ත්‍රියක වන ෂිමෙයාත්ගේ පුත් සාබාද් සහ මෝවබිය ස්ත්‍රියක වන ෂිම්රීත්ගේ පුත් ජෙහෝශාබාද් ය.</verse>
				<verse number="27">ඔහුගේ පුත්‍රයන් ගැන ද, ඔහු පිට තබන ලද විශාල වගකීම සහ දෙවියන් වහන්සේගේ මාලිගාව දෙවනුව ගොඩනැඟීම ගැන ද රාජාවලී අටුවා පොතෙහි ලියා තිබේ. ඔහුගේ පුත් අමශියා ඔහු වෙනුවට රජ විය.</verse>
			</chapter>
			<chapter number="25">
				<verse number="1">අමශියා විසිපස් අවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමෙහි විසිනව අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම ජෙහෝයද්දාන් ය. ඈ ජෙරුසලමේ ස්ත්‍රියකි.</verse>
				<verse number="2">ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය. එහෙත්, එසේ කෙළේ මුළු සිතින් නොවේ.</verse>
				<verse number="3">තවද, රජකම ඔහුට ස්ථිර වූ කල, ඔහු තමාගේ පිය රජ්ජුරුවන් නැසූ තම සේවකයන් මරා දැම්මේ ය.</verse>
				<verse number="4">එහෙත්, “දරුවන් නිසා පියවරු වත්, පියවරුන් නිසා දරුවෝ වත් මරනු නොලබත්වා; එක් එක්කෙනා තම තමාගේ ම පාපය නිසා මරනු ලැබේවා”යි සමිඳාණන් වහන්සේ අණ කළ ලෙස, මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ ලියා තිබෙන පරිද්දෙන් ඔහු ඔවුන්ගේ දරුවන් නොමරා හැරියේ ය.</verse>
				<verse number="5">තවද, අමශියා ජුදාවරුන් රැස්කර, මුළු ජුදා දේශයෙහි ද බෙන්ජමින් දේශයෙහි ද ඔවුන්ගේ පිය වංශවල හැටියට ඔවුන් සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද යටතේ පත්කොට, විසි අවුරුද්ද පටන් ඉන් ඉහළට වයස් වූවන් ගණන් කර, හෙල්ල ද පලිස් ද ගෙන යුද්ධ කරන්න දක්ෂ වූ තෝරා ගත් මනුෂ්‍යයන් තුන්ලක්ෂයක් සිටි බව දැනගත්තේ ය.</verse>
				<verse number="6">ඔහු ඉශ්රායෙල්වරුන්ගෙන් යුද්ධයට දක්ෂ අය ලක්ෂයක් රිදී කිලෝග්‍රෑම් තුන්දහස් හාරසියයකට කුලියට ගත්තේ ය.</verse>
				<verse number="7">එහෙත්, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් ඔහු ළඟට අවුත්, “රජතුමනි, සියලු එප්‍රායිම්වරුන් වන ඉශ්රායෙල්වරුන් සමඟ සමිඳාණන් වහන්සේ වැඩ සිටින නිසා ඉශ්රායෙල් යුද්ධ සේනාව ඔබ සමඟ නොයත්වා.</verse>
				<verse number="8">එහෙත් ඔබ යන්නෙහි නම්, ශක්තිමත් වී සටනට බලවත් වන්න. දෙවියන් වහන්සේ සතුරා ඉදිරියෙහි ඔබ හෙළා දමන සේක. මන්ද, උපකාර කරන්නටත්, හෙළා දමන්නටත් දෙවියන් වහන්සේට බලය ඇත්තේ ය”යි කීවේ ය.</verse>
				<verse number="9">අමශියා ද, “එසේ නම්, මා ඉශ්රායෙල් සේනාවට දුන් රිදී කිලෝග්‍රෑම් තුන්දහස් හාරසියය ගැන අපි කුමක් කරමු දැ”යි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගෙන් ඇසුවේ ය. දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා උත්තර දෙමින්, “ඊටත් වඩා ඔබට දෙන්න සමිඳාණන් වහන්සේට පුළුවනැ”යි කී ය.</verse>
				<verse number="10">එකල අමශියා එප්‍රායිම්හි සිට තමා වෙත පැමිණි හමුදාව ස්වකීය ස්ථානයට යන පිණිස වෙන් කෙළේ ය. ඒ නිසා ඔවුන්ගේ කෝපය ජුදා කෙරෙහි බොහෝ සෙයින් ඇවිළී, ඔව්හු තද කෝපයෙන් තමන්ගේ ස්ථානයට හැරී ගියෝ ය.</verse>
				<verse number="11">ඉක්බිති අමශියා ධෛර්යය වඩා තම සෙනඟ කැඳවාගෙන, ලුණු මිටියාවතට පැමිණ සේයිර්වරුන්ගෙන් දසදහසක් මැරී ය.</verse>
				<verse number="12">ජුදාවරු තව දසදහසක් පණපිටින් අල්ලාගෙන, ඔවුන් පර්වතයේ මුදුනට ගෙන ගොස් පර්වතය මුදුනෙන් පහළට හෙළා දැමුවෝ ය. ඔව්හු සියල්ලෝ ද සුණු විසුණු වූ හ.</verse>
				<verse number="13">අමශියා තමා සමඟ යුද්ධයට නොයන පිණිස ආපසු හැරියා වූ හමුදාවේ භටයෝ සමාරියේ සිට බෙත්-හෝරොන් දක්වා ජුදාහි නුවරවලට වැද, එහි දී තුන්දහසකට පහර දී බොහෝ කොල්ලය ගත්තෝ ය.</verse>
				<verse number="14">අමශියා ඒදොම්වරුන් මරා පැමිණි පසු, සේයිර්වරුන්ගේ දෙවිවරුන් ගෙන වුත් තමාට දෙවිවරුන් කොට තබාගෙන, ඒවා ඉදිරියෙහි වැඳ වැටී ඒවාට සුවඳ දුම් ඔප්පු කෙළේ ය.</verse>
				<verse number="15">එවිට සමිඳාණන් වහන්සේගේ උදහස අමශියා කෙරෙහි ඇවුළුණේ ය. උන් වහන්සේ දිවැසිවරයෙකු ඔහු වෙත යැවූ සේක. ඔහු කතා කොට, “තමන්ගේ සෙනඟ ඔබේ අතින් ගළවා නොගත් සෙනඟගේ දෙවියන් වෙත හැරුණේ මන්දැ”යි ඔහුගෙන් ඇසුවේ ය.</verse>
				<verse number="16">මෙසේ ඔහු රජු සමඟ කතා කරද්දී අමශියා ඔහුට කතා කොට, “ඔබ රජුගේ මන්ත්‍රීවරයෙකු කොට පත් කෙළෙමු ද? ඔබ මැරුම්කන්න කැමැති නැත්නම් නිකම් සිටින්නැ”යි කීවේ ය. එවිට දිවැසිවරයා නැවතී, “ඔබ මාගේ දැනුමැතිකම නොඅසා මෙය කළ බැවින්, දෙවියන් වහන්සේ ඔබ විනාශ කරන්න තීරණය කර ගත් බව මට පෙනේ ය”යි කීවේ ය.</verse>
				<verse number="17">එකල ජුදාහි රජ වූ අමශියා මන්ත්‍රණය කොට, “එන්න, අපේ ශක්තිය උරගා බලමු” කියා ජේහුගේ පුත් ජෙහෝවාස්ගේ පුත් ඉශ්රායෙල් රජ වන ජෝවාෂ්ට කියා හැරියේ ය.</verse>
				<verse number="18">ඉශ්රායෙල් රජ වන ජෝවාෂ් උත්තර දෙමින්, “ ‘ඔබේ දුව මාගේ පුත්‍රයාට භාර්යාව කොට පාවාදෙන්නැ’යි ලෙබනොන්හි තිබෙන ගොකටු ගස ලෙබනොන්හි තිබෙන කිහිරි ගසට කියා ඇරියේ ය. එහෙත්, ලෙබනොන්හි වන මෘගයෝ එහි යන විට ගොකටු ගස පාගා දැමූ හ.</verse>
				<verse number="19">‘මෙන්න, මම ඒදොම්වරුන්ට පහර දුන්නෙමි’යි ඔබ කියයි. ඔබේ සිත ද පාරට්ටු කරගන්න පිණිස අහංකාර වී තිබේ. ගෙදර සිටින්න. ඔබ ද ඔබ සමඟ ජුදාවරුන් ද වැටෙන ලෙස ඔබ අන්තරායට මැදි වන්නේ මන්දැ”යි ජුදාහි රජුට කියා හැරියේ ය.</verse>
				<verse number="20">එහෙත්, අමශියා ඇහුම්කන් නුදුන්නේ ය. ඔවුන් ඒදොම්හි දෙවිවරුන් වෙත හැරුණු බැවින්, ඔවුන් පාවා දෙන පිණිස එය දෙවියන් වහන්සේ කෙරෙන් පැමිණියේ ය.</verse>
				<verse number="21">මෙසේ ඉශ්රායෙල්හි රජ වන ජෝවාෂ් පිටත් ව ගියේ ය. ඔහු ද ජුදාහි රජ වූ අමශියා ද ජුදාට අයිති බෙත්-ෂෙමෙෂ්හි දී මුණ ගැසුණෝ ය.</verse>
				<verse number="22">ජුදාවරු ඉශ්රායෙල්වරුන්ට පරාජය වූ එක් එක්කෙනා තම තමාගේ කූඩාරමට පලා ගියෝ ය.</verse>
				<verse number="23">ඉශ්රායෙල් රජ වන ජෝවාෂ් තෙමේ ජෙහෝවාහාස්ගේ පුත් ජෝවාෂ්ගේ පුත් ජුදාහි රජ වන අමශියා බෙත්-ෂෙමෙෂ්හි දී අල්ලාගෙන ජෙරුසලමට ගෙනවුත්, එප්‍රායිම් දොරටුව සිට කොනේ දොරටුව දක්වා ජෙරුසලමේ පවුරෙන් මීටර් දෙසියයක් පමණ බිඳ හෙළා,</verse>
				<verse number="24">දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි ඕබෙද්-ඒදොම්ගේ පෙළපතේ අය ළඟ තිබුණු රන් රිදී සියල්ල ද සියලු භාජන ද රජ ගෙයි වස්තු ද ඇපකාරයන් ද රැගෙන සමාරියට හැරී ගියේ ය.</verse>
				<verse number="25">ජෙහෝවාහාස්ගේ පුත් ඉශ්රායෙල් රජ වූ ජෝවාෂ්ගේ මරණයෙන් පසු ජුදාහි රජ වන ජෝවාෂ්ගේ පුත් අමශියා අවුරුදු පහළොවක් ජීවත් ව සිටියේ ය.</verse>
				<verse number="26">අමශියාගේ සෙසු ක්‍රියා මුල පටන් අග දක්වා ජුදාහි රජුන්ගේ ද ඉශ්රායෙල් රජුන්ගේ ද පොතෙහි ලියා තිබෙනු නොවේ ද?</verse>
				<verse number="27">අමශියා සමිඳාණන් වහන්සේ වෙතින් අහක් ව ගිය පසු ජෙරුසලමෙහි මනුෂ්‍යයන් විසින් ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණයක් කරන ලදී. ඔහු ලාකීෂ්ට පලා ගියේ ය. එහෙත්, සෙනඟ ඔහු පසුපස්සේ ලාකීෂ්ට මිනිසුන් යවා එහි දී ඔහු මරා,</verse>
				<verse number="28">අශ්වයන් පිට තබා ගෙනවුත්, දාවිත්ගේ නුවර ඔහුගේ පියවරුන් ළඟ ඔහු තැන්පත් කළෝ ය.</verse>
			</chapter>
			<chapter number="26">
				<verse number="1">එකල ජුදාහි මුළු සෙනඟ දහසය අවුරුදු වයස් වන උශ්ශියා තෝරාගෙන ඔහුගේ පිය වූ අමශියා වෙනුවට ඔහු රජකමට පත් කළෝ ය.</verse>
				<verse number="2">අමශියා රජු මියගිය පසු ඔහු ඒලොත් ගොඩනඟා එය ජුදා දේශයට නැවත අයිති කරගත්තේ ය.</verse>
				<verse number="3">උශ්ශියාට දහසය අවුරුදු වූ කල ඔහු රජ වී ජෙරුසලමෙහි පණස්දෑවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම ජෙකෝලියා ය. ඈ ජෙරුසලමේ ස්ත්‍රියකි.</verse>
				<verse number="4">ඔහු තමාගේ පිය වන අමශියා කළ සියල්ල ලෙස සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය.</verse>
				<verse number="5">දේව ගරුබිය පිළිබඳ ව තමාට පහදා දුන් ශෙකරියාගේ දවස්වල දී ඔහු දෙවියන් වහන්සේ සෙවුවේ ය. ඔහු සමිඳාණන් වහන්සේ සෙවූ තාක් කල් දෙවියන් වහන්සේ ඔහු සමෘද්ධිමත් කළ සේක.</verse>
				<verse number="6">ඔහු නික්ම ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධ ව යුද්ධ කොට, ගාත්හි පවුරත්, ජබ්නෙහි පවුරත්, අෂ්දොද්හි පවුරත් බිඳ දමා, අෂ්දොද් රටෙහි ද පිලිස්තිවරුන් අතරේ ද නගර ගොඩනැඟුවේ ය.</verse>
				<verse number="7">දෙවියන් වහන්සේ පිලිස්තිවරුන්ටත්, ගුර්-බාල්හි සිටි අරාබිවරුන්ටත්, මෙයුනිවරුන්ටත් විරුද්ධ ව ඔහුට උපකාර කළ සේක.</verse>
				<verse number="8">අම්මොනිවරුන් උශ්ශියාට කප්පම් ගෙව්වෝ ය. ඔහු ඉතා ම බලවත් වූ බැවින් ඔහුගේ කීර්තිය මිසරයේ සීමාව දක්වා පතළ වී ගියේ ය.</verse>
				<verse number="9">තවද, උශ්ශියා ජෙරුසලමෙහි කොනේ දොරටුව ළඟ ද මිටියාවතේ දොරටුව ළඟ ද පවුරු මුලුවල ද මුරකොටු ගොඩනඟා ඒවා සවිශක්තිමත් කෙළේ ය.</verse>
				<verse number="10">ඔහුට පහත රටෙහිත්, සමභූමියෙහිත් බොහෝ සිවුපාවුන් සිටි නිසා ඔහු පාළුකරයෙහි මුරකොටු ගොඩනඟා බොහෝ ජලාශයන් ද සෑදුවේ ය. ඔහු ගොවි කර්මාන්තයට සතුටු ව සිටි බැවින් ඔහුට කඳුවලත්, සරු කෙත්වලත් ගොවියෝ ද මිදි වතු වවන්නෝ ද සිටියෝ ය.</verse>
				<verse number="11">යුද්ධයට පුහුණු වූ සේනාවක් ද උශ්ශියාට සිටියේ ය. ලේකම් වන ජෙයීයෙල් විසින් ද නිලධාරියා වූ මයසේයා විසින් ද ඔවුන් ගණන් කරන ලද සංඛ්‍යවේ හැටියට ඔව්හු රජුගේ අධිපතියෙකු වූ හනනියාගේ පාලනය යටතේ හමුදා වශයෙන් සේවයට පිටත් ව ගියෝ ය.</verse>
				<verse number="12">බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයන්ගේ පිය වංශවල ප්‍රධානීන්ගේ මුළු ගණන දෙදස් හයසියයක් ය.</verse>
				<verse number="13">ඔවුන් යටතේ සතුරාට විරුද්ධ ව රජුට උදව් වන පිණිස බලවත් ලෙස යුද්ධ කරන මිනිසුන් තුන්ලක්ෂ හත්දහස් පන්සියයකින් යුත් යුද්ධ සේනාවක් ඔහුට සිටියේ ය.</verse>
				<verse number="14">උශ්ශියා ඒ මුළු සේනාවට පලිස් ද හෙල්ල ද තොප්පි ද යුද්ධ සැට්ට ද දුනු ද විසි කිරීමට ගල් ද පිළියෙළ කෙළේ ය.</verse>
				<verse number="15">තවද, ඔහු ඊගස්වලින් ද ලොකු ගල්වලින් ද විදින පිණිස මුරකොටු උඩත්, කොත් උඩත් තැබීමට දක්ෂ මිනිසුන් විසින් නිපදවන ලද යන්ත්‍ර ජෙරුසලමෙහි සෑදෙව්වේ ය. ඔහුගේ කීර්තිය දස දෙස පතළ ව ගියේ ය. මන්ද, ඔහුට සවි ශක්තිය ලැබුණේ ඉතා පුදුමාකාර මාර්ගයකින් බැවිනි.</verse>
				<verse number="16">එහෙත්, ඔහු බලවත් වන්න වන්න ඔහුගේ සිත උඩඟු විය. මෙය ඔහුගේ වැටීමට හේතු විය. ඔහු දුම් පූජාසනය පිට සුවඳ දුම් ඔප්පු කරන පිණිස සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වීමෙන් තම දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව වරද කෙළේ ය.</verse>
				<verse number="17">එහෙත්, අශරියා පූජකයා ද ඔහු සමඟ වික්‍රමාන්විත මනුෂ්‍යයන් ව සිටි සමිඳාණන් වහන්සේගේ පූජකයෝ අසූදෙනෙක් ද උශ්ශියා රජු පසුපස ගොස් ඇතුළු වී,</verse>
				<verse number="18">ඔහුට විරුද්ධ ව සිටිමින්, ඔහුට කතා කොට, “උශ්ශියා, සුවඳ දුම් ඔප්පු කිරීමට කැප කරන ලද ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන්ට මිස, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පු කිරීම ඔබට අයිති වැඩක් නොවේ. ශුද්ධස්ථානයෙන් පිටතට යන්න. මන්ද, ඔබ වරද කෙළෙහි ය. මෙය දෙවියන් වහන්සේගෙන් ඔබට ගෞරව පිණිස නොවන්නේ ය”යි කීවෝ ය.</verse>
				<verse number="19">එවිට උශ්ශියා කෝපාවිෂ්ට විය, සුවඳ දුම් ඔප්පු කිරීමට දුම් භාජනයක් ඔහුගේ අතේ තිබුණේ ය. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දුම් පූජාසනය ළඟ ඔහු පූජකයන් සමඟ උදහස් ව සිටිය දී, පූජකයන් ඉදිරියෙහි ඔහුගේ නළලේ ලාදුරු රෝගයක් මතු විය.</verse>
				<verse number="20">උත්තම පූජකයා වූ අශරියා ද සියලු පූජකයෝ ද ඔහු දෙස බැලූ විට ඔහුගේ නළලේ ලාදුරු රෝගයක් මතු වී තිබෙන බව දැක, ඔහු එතැනින් වහා ම නෙරපා දැමූ හ. එසේ ය, සමිඳාණන් වහන්සේ තමාට පහර දුන් නිසා, පිටතට යන්න ඔහු ම ඉක්මන් කෙළේ ය.‍</verse>
				<verse number="21">උශ්ශියා රජ තෙමේ තමාගේ මරණයේ දවස දක්වා ලාදුරු රෝගියෙකු වී සිටියේ ය. ලාදුරු රෝගියෙකු ලෙස වෙන් වූ නිසා ඔහු ගිලන් ගෙයක වාසය කෙළේ ය. මන්ද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වීම ඔහුට තහනම් ව තිබිණි. ඔහුගේ පුත් ජෝතාම් රජ ගෙදර ප්‍රධානියා ව සිට දේශයේ සෙනඟ පාලනය කෙළේ ය.</verse>
				<verse number="22">උශ්ශියාගේ අනික් ක්‍රියා මුල පටන් අග දක්වා ආමොස්ගේ පුත් දිවැසිවර යෙසායා විසින් ලියන ලද්දේ ය.</verse>
				<verse number="23">උශ්ශියා මියගියේ ය. මනුෂ්‍යයෝ ඔහු ලාදුරු රෝගියෙක් ය කියා ඔහුගේ පියවරුන් ළඟ රජවරුන්ගේ සොහොන් පළේ පිට්ටනියෙහි ඔහු තැන්පත් කළෝ ය. ඉන්පසු ඔහුගේ පුත් ජෝතාම් ඔහු වෙනුවට රජ විය.</verse>
			</chapter>
			<chapter number="27">
				<verse number="1">ජෝතාම් විසිපස් අවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමේ දහසය අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම ජෙරුෂා ය. ඈ ශාදොක්ගේ දුවකි.</verse>
				<verse number="2">තමාගේ පිය වූ උශ්ශියා කළ සියල්ල ලෙස ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය. එහෙත්, ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වූයේ නැත. ඒ කාලයෙහිත් සෙනඟ දුෂ්ටකම් කළෝ ය.</verse>
				<verse number="3">ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඉහළ දොරටුව ද ඕපෙල් පවුරේ බොහෝ තැන් ද ගොඩනැඟුවේ ය.</verse>
				<verse number="4">ජුදා කඳු රටෙහි නගර ද මූකළන්වල බලකොටු ද මුරකොටු ද ඔහු ගොඩනැඟුවේ ය.</verse>
				<verse number="5">ඔහු අම්මොන්වරුන්ගේ රජුට විරුද්ධ ව යුද්ධ කොට ඔවුන්ගෙන් ජයගත් පසු, අම්මොන්වරු ඒ අවුරුද්දේ රිදී කිලෝග්‍රෑම් තුන්දහස් හාරසියයක් ද තිරිඟු මෙට්රික් ටොන්‍ දහසක් ද යව මෙට්රික් ටොන්‍ දහසක් ද ඔහුට දුන්නෝ ය. දෙ වන, තුන් වන අවුරුදුවල දීත් අම්මොන්වරු එසේ ගෙවූ හ.</verse>
				<verse number="6">මෙසේ ජෝතාම් දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යහ මඟ ගිය බැවින් බලවත් විය.</verse>
				<verse number="7">ජෝතාම්ගේ අනික් ක්‍රියා ද සියලු යුද්ධ ද ඔහුගේ ප්‍රතිපත්ති ද ඉශ්රායෙල් සහ ජුදා රජුන්ගේ පොතෙහි ලියා තිබේ.</verse>
				<verse number="8">ඔහු විසිපස් අවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමෙහි දහසය අවුරුද්දක් රජකම් කෙළේ ය.</verse>
				<verse number="9">ජෝතාම් මියගිය පසු දාවිත්ගේ නුවර තැන්පත් කරන ලදී. ඔහුගේ පුත් ආහාස් ඔහු වෙනුවට රජ විය.</verse>
			</chapter>
			<chapter number="28">
				<verse number="1">ආහාස් විසි අවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමෙහි දහසය අවුරුද්දක් රජකම් කෙළේ ය.</verse>
				<verse number="2">ඔහු තමාගේ පිය වූ දාවිත් කළාක් මෙන් සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ නොකොට, ඉශ්රායෙල් රජුන්ගේ අඩි පාරේ ගමන් කරමින්, බාල් දේවතාවුන්ට වාත්තු පිළිම සෑදුවේ ය.</verse>
				<verse number="3">ඇරත් ඔහු හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතෙහි සුවඳ දුම් ඔප්පු කොට, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් පන්නා දැමූ ජාතීන්ගේ පිළිකුල් ක්‍රියා හැටියට තමාගේ පුත්‍රයන් ගින්නෙහි දැවුවේ ය.</verse>
				<verse number="4">ඔහු ගිරිකුළු පිටත්, හෙල් පිටත්, අතු පතර ඇති සියලු ගස් යටත් පූජා ද සුවඳ දුම් ද ඔප්පු කෙළේ ය.</verse>
				<verse number="5">ඒ නිසා ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සිරියාවේ රජු අතට පාවා දුන් සේක. සිරියන්වරු ඔහුට පහර දී ඔහුගේ සෙනඟගෙන් මහත් සමූහයක් අල්ලා දමස්කයට ගෙන ගියෝ ය. ඔහු ඉශ්රායෙල් රජු අතටත් අසුවූයෙන් ඒ රජ තෙමේ මහා ඝාතනයකින් ඔහු පරාජය කෙළේ ය.</verse>
				<verse number="6">රෙමලියාගේ පුත් පෙකා බලවන්තයන් ව සිටි එක්ලක්ෂ විසිදහසක් එක දවසේ ජුදාහි දී මැරුවේ ය. මෙසේ වූයේ, ඔවුන් තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත්හැරිය නිසා ය.</verse>
				<verse number="7">එප්‍රායිම්හි බලසම්පන්න මනුෂ්‍යයෙකු වූ ශික්රී තෙම රජුගේ පුත් මයසේයා ද රජගෙයි අධිපතියා වූ අශ්රීකාම් ද රජුගේ දෙවැනියා වූ එල්කානා ද මැරුවේ ය.</verse>
				<verse number="8">තවද, ඉශ්රායෙල්වරු තමන්ගේ සහෝදරයන්ගෙන් ස්ත්‍රීන් ද පුත්‍රයන් ද දූවරුන් ද දෙලක්ෂයක් අල්ලාගෙන, ඔවුන්ගෙන් විශාල කොල්ලයකුත් රැගෙන ඒ කොල්ලය සමාරියට ගෙන ගියෝ ය.</verse>
				<verse number="9">එහෙත්, එහි සිටි ඕදෙද් නමැති සමිඳාණන් වහන්සේගේ දිවැසිවරයෙක් සමාරියට ආ සේනාව සම්මුඛ වන්න පිටත් ව ගොස් ඔවුන්ට කතා කොට, “ඔබ සැමගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ජුදා කෙරෙහි උදහස් වූ නිසා උන් වහන්සේ ඔවුන් ඔබ අතට පාවා දුන් සේක. ඔබ අහසට නැඟෙන තරම් මහා කෝපයකින් ඔවුන් මැරුවහු ය.</verse>
				<verse number="10">දැනුත් ජුදාහි ද ජෙරුසලමේ ද දරුවන් දාස දාසීන් කොට, යටත් කරගන්න ඔබ අදහස් කරන්නහු ය. එහෙත්, දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කළ අපරාධ ඔබ පිටත් නැද් ද?</verse>
				<verse number="11">එබැවින් මට ඇහුම්කන් දී ඔබේ සහෝදරයන්ගෙන් අල්ලාගත් තැනැත්තන් ආපසු යවන්න. මන්ද, සමිඳාණන් වහන්සේගේ තද උදහස ඔබ කෙරෙහි තිබේ ය”යි කීවේ ය.</verse>
				<verse number="12">එකල එප්‍රායිම්වරුන්ගේ ප්‍රධානීන්ගෙන් සමහරෙකු වූ ජොහානාන්ගේ පුත් අශරියා ද මෙෂිල්ලේමොත්ගේ පුත් බෙරෙකියා ද ෂල්ලුම්ගේ පුත් ජෙහිස්කියා ද හද්ලයිගේ පුත් අමාසා ද යුද්ධයෙන් ආ අයට විරුද්ධ ව නැඟිට සිට,</verse>
				<verse number="13">ඔවුන්ට කතා කොට, “අල්ලාගෙන ආ තැනැත්තන් මෙහි නොගෙනා යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේට විරුද්ධ ව අප කළ වරද හැර, අපේ පාප සහ අපේ අපරාධ වැඩි කරන්න ඔබ සිතන්නහු ය. අපේ අපරාධය බරපතල ය, දේව උදහස ද ඉශ්රායෙල් කෙරෙහි තිබේ ය”යි කීවෝ ය.</verse>
				<verse number="14">මෙසේ කී පසු ආයුධ ගත් තැනැත්තෝ අල්ලාගනු ලැබූ අය සහ කොල්ලය, අධිපතීන් සහ මුළු සභාව ඉදිරියෙහි හැර දමා යන්න ගියෝ ය.</verse>
				<verse number="15">එවිට නම් සඳහන් කොට පත් කරන ලද මනුෂ්‍යයෝ නැඟිට, අසුවුණ අය කැඳවාගෙන, ඔවුන් අතරේ වස්ත්‍ර නැති සියල්ලන්ට කොල්ලයෙන් ගත් දෙයින් වස්ත්‍ර දී, ඔවුන්ට හඳවා, ඔවුන්ට වහන් ද කෑම බීම ද දී, තෙල් ගා, බෙලහීන ව සිටි සියල්ලන් කොටළුවන් පිට නංවා, ඉඳිගස් නුවර වූ ජෙරිකෝවේ ඔවුන්ගේ සහෝදරයන් වෙත ගෙනවුත්, පසු ව සමාරියට හැරී ගියෝ ය.</verse>
				<verse number="16">ඒ කාලයෙහි ආහාස් රජ තමාට උපකාර කරන ලෙස අසිරියාවේ රජු වෙත පණිවුඩයක් යැවී ය.</verse>
				<verse number="17">කුමක් නිසා ද ඒදොම්වරු නැවත අවුත් ජුදාවරුන්ට පහර දී සමහරුන් අල්ලාගෙන ගියෝ ය.</verse>
				<verse number="18">පිලිස්තිවරු ද පහත රටේ සහ ජුදාහි දකුණු දිශාවේ නගරවලට වැද, බෙත්-ෂෙමෙෂ් ද අයාලෝන් ද ගෙදේරෝත් ද ශොකෝව සහ එහි ගම් ද තිම්නා සහ එහි ගම් ද ගිම්සෝ සහ එහි ගම් ද අල්ලාගෙන ඒවායේ වාසය කළෝ ය.</verse>
				<verse number="19">මන්ද, ජුදාහි රජු වූ ආහාස් ජුදාවරුන් අවිශ්වාසයට පමුණුවා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් කළ බැවින්, උන් වහන්සේ ජුදා මනුෂ්‍යයන් යටත් කළ සේක.</verse>
				<verse number="20">අසිරියාවේ රජ වූ තිල්ගත්-පිලනෙසෙර් ඔහු වෙත අවුත් ඔහුට පීඩා කළා මිස ඔහු ශක්තිමත් කෙළේ නැත.</verse>
				<verse number="21">ආහාස් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙන් ද රජුගේත්, අධිපතීන්ගේත් ගෙවලින් ද වස්තු රැගෙන අසිරියාවේ රජුට දුන් නමුත් එයින් ඔහුට පලක් නො වී ය.</verse>
				<verse number="22">මෙම ආහාස් රජු තමාට විපත පැමිණි කාලයේ දී තව තවත් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් කෙළේ ය.</verse>
				<verse number="23">තමාට පහර දුන් දමස්කයේ දෙවිවරුන්ට ඔහු පූජා කොට, “සිරියාවේ රජුන්ගේ දෙවිවරුන් ඔවුන්ට පිහිට වන බැවින්, ඔවුන් මටත් පිහිට වන පිණිස මම ඔවුන්ට පූජා කරමි”යි කී ය. එහෙත්, ඒ දෙවිවරු ඔහුගේ ද මුළු ඉශ්රායෙල් සෙනඟගේ ද විනාශයට හේතු වූ හ.</verse>
				<verse number="24">ආහාස් දෙවියන් වහන්සේගේ මාලිගාවේ භාණ්ඩ එකතු කර, එහි වෙනත් භාණ්ඩ කැබලි කොට කපා, උන් වහන්සේගේ මාලිගාවේ දොරවල් වසා, ජෙරුසලමේ අස්සක් මුල්ලක් නෑර පූජාසන සාදා ගත්තේ ය.</verse>
				<verse number="25">ජුදාහි සියලු නගරවල ම අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කරන පිණිස ඔහු ගිරිකුළු දේවාල සාදා තමාගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෝප කෙළේ ය.</verse>
				<verse number="26">මුල පටන් අග දක්වා ඔහුගේ අනික් ක්‍රියා ද ඔහුගේ සියලු ප්‍රතිපත්ති ද ජුදා සහ ඉශ්රායෙල් රජුන්ගේ පොතෙහි ලියා තිබේ.</verse>
				<verse number="27">ආහාස් මියගිය පසු ඔව්හු ජෙරුසලම් නුවර ඔහු තැන්පත් කළෝ ය. ඔව්හු ඉශ්රායෙල් රජුන්ගේ සොහොන් ගෙවල ඔහු නොතැබුවෝ ය. ඔහුගේ පුත් හෙසකියා ඔහු වෙනුවට රජ විය.</verse>
			</chapter>
			<chapter number="29">
				<verse number="1">හෙසකියා වයස අවුරුදු විසිපහේ දී රජ වී විසිනව අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම අබියා ය. ඈ ශෙකරියාගේ දුවකි.</verse>
				<verse number="2">ඔහුගේ පිය වූ දාවිත් කළ සියල්ල ලෙස ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය.</verse>
				<verse number="3">ඔහු රජකමට පත් වූ පළමු වන අවුරුද්දේ පළමු වන මාසයේ දී සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරවල් ඇර ඒවා ප්‍රතිසංස්කරණය කෙළේ ය.</verse>
				<verse number="4">ඔහු පූජකයන් ද ලෙවීවරුන් ද ගෙන්වා ගෙන, නැගෙනහිරින් වූ එළිමහන් තැන ඔවුන් රැස් කර,</verse>
				<verse number="5">ඔවුන්ට කතා කොට මෙසේ කීවේ ය: “ලෙවීවරුනි, මට සවන් දෙන්න; ඔබ දැන් පවිත්‍ර වී, ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාවත් පවිත්‍ර කොට, ශුද්ධස්ථානයෙන් අපවිත්‍රකම පහකරන්න.</verse>
				<verse number="6">මන්ද, අපේ පියවරු ද්‍රෝහිකම් කරමින්, අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කොට, උන් වහන්සේ අත්හැර උන් වහන්සේගේ වාසස්ථානය වෙතින් අහක් වී උන් වහන්සේට පිටු පෑවෝ ය.</verse>
				<verse number="7">ඔව්හු ද්වාර මණ්ඩපයේ දොරත් වසා තබා, පහන් නිවා, ශුද්ධස්ථානයෙහි ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට සුවඳ දුම් වත්, දවන යාග පූජා වත් ඔප්පු නොකළෝ ය.</verse>
				<verse number="8">ඒ නිසා සමිඳාණන් වහන්සේගේ උදහස ජුදා සහ ජෙරුසලම කෙරෙහි පැමිණියේ ය. ඔබේ ඇස්වලට පෙනෙන හැටියට ඔවුන් ඉතා අප්‍රිය වීමට ද බියජනක නින්දාවක් වීමට ද උන් වහන්සේ පාවා දුන් සේක.</verse>
				<verse number="9">මේ නිසා අපේ පියවරු කඩුවෙන් මැරී වැටුණෝ ය. අපේ පුත්‍රයෝ ද දූවරු ද භාර්යාවෝ ද වහල්කමෙහි සිටිති.</verse>
				<verse number="10">“ඉතින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ තද උදහස අප කෙරෙන් පහ ව යන පිණිස උන් වහන්සේ සමඟ ගිවිසුමක් කරන්න මම අදහස් කර ඇත්තෙමි.</verse>
				<verse number="11">මාගේ පුත්‍රයෙනි, දැන් අලස ව නොසිටින්න. සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටින්නත්, උන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නත්, උන් වහන්සේගේ සේවකයන් ව සුවඳ දුම් ඔප්පු කරන්නත් උන් වහන්සේ ඔබ තෝරාගත් සේක.”</verse>
				<verse number="12">මෙසේ කී පසු, කොහාත්වරුන්ගේ පුත්‍රයන්ගෙන් අමාසයිගේ පුත් මහත් ද අශරියාගේ පුත් ජෝවෙල් ද; මෙරාරීගේ පුත්‍රයන්ගෙන් අබ්දීගේ පුත් කිෂ් සහ ජෙහල්ලෙලෙල්ගේ පුත් අශිරියා ද; ගේර්ෂොන්වරුන්ගෙන් සිම්මාගේ පුත් ජෝවා ද ජෝවාගේ පුත් ඒදෙන් ද;</verse>
				<verse number="13">එලිශාපාන්ගේ පුත්‍රයන්ගෙන් ෂිම්රි ද ජෙවුයෙල් ද; ආසාප්ගේ පුත්‍රයන්ගෙන් ශෙකරියා ද මත්තනියා ද;</verse>
				<verse number="14">හේමන්ගේ පුත්‍රයන්ගෙන් ජෙහුවෙල් ද ෂිමෙයි ද ජෙදුතුන්ගේ පුත්‍රයන්ගෙන් ෂෙමායා ද උශ්ශියෙල් ද යන ලෙවීවරු නැඟිට,</verse>
				<verse number="15">තමන්ගේ සහෝදරයන් රැස් කර, තුමූ ම පවිත්‍ර වී, රජුගේ ආඥාව පරිද්දෙන් සමිඳාණන් වහන්සේගේ වචනය ලෙස උන් වහන්සේගේ මාලිගාව පිරිසිදු කරන්නට ආවෝ ය.</verse>
				<verse number="16">පූජකයෝ උන් වහන්සේගේ මාලිගාව පිරිසිදු කරන පිණිස එහි ඇතුළට ගොස් උන් වහන්සේගේ මාලිගාවෙහි සම්බ වූ සියලු අපිරිසිදු දේ ඒ මාලිගාවේ මළුවට ගෙනාවෝ ය. ලෙවීවරු ඒවා කිද්‍රොන් ඔයට ගෙන ගියහ.</verse>
				<verse number="17">ඔව්හු පළමු වන මාසයේ පළමු වන දා දේව මාලිගාව පවිත්‍ර කරන්නට පටන්ගෙන, මාසයේ අට වන දා සමිඳාණන් වහන්සේගේ ද්වාර මණ්ඩපයට ආවෝ ය. අට දවසකින් ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාලිගාව පවිත්‍ර කර පළමු වන මාසයේ දහසය වන දා එය නිම කළෝ ය.</verse>
				<verse number="18">එවිට ඔව්හු රජ මැදුරේ සිට හෙසකියා රජු වෙත ගොස් කතා කොට, “අපි සමිඳාණන් වහන්සේගේ මුළු මාලිගාවත්, දවන යාග පූජාසනයත්, ඊට අයිති සියලු භාණ්ඩත්, පිදුම් පූප මේසයත්, ඊට අයිති සියලු භාණ්ඩත් පිරිසිදු කෙළෙමු.</verse>
				<verse number="19">ඇරත් ආහාස් රජු රජකම් කරන කල ඔහුගේ ද්‍රෝහිකමේ දී අහක දැමූ සියලු භාණ්ඩත් අපි සූදානම් කර පවිත්‍ර කෙළෙමු. ඒවා සමිඳාණන් වහන්සේගේ පූජාසනය ඉදිරිපිට තිබේ ය”යි කීවෝ ය.</verse>
				<verse number="20">එවිට හෙසකියා රජ අලුයම නැඟිට, නුවර අධිපතීන් රැස් කරවා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගියේ ය.</verse>
				<verse number="21">ඔව්හු රාජ්‍යය ද ශුද්ධස්ථානය ද ජුදාවරුන් ද උදෙසා පාප පූජාවක් පිණිස ගොනුන් සත්දෙනෙකුත්, බැටළුවන් සත්දෙනෙකුත්, බැටළු පැටවුන් සත්දෙනෙකුත්, එළුවන් සත්දෙනෙකුත් ගෙනාහ. ඒ සතුන් සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිට ඔප්පු කරන්න ඔහු පූජකයන් වන ආරොන්ගේ පුත්‍රයන්ට කීවේ ය.</verse>
				<verse number="22">ගොනුන් මැරූ විට පූජකයෝ ලේ රැගෙන පූජාසනය පිට ඉස්සෝ ය. බැටළුවන් ද මරා ලේ පූජාසනය පිට ඉස්සෝ ය. එසේ ම බැටළු පැටවුන් ද මරා ලේ පූජාසනය පිට ඉස්සෝ ය.</verse>
				<verse number="23">ඔව්හු පාප පූජාවේ එළුවන් රජු සහ සභාව ඉදිරියට ගෙනාවෝ ය. ඔව්හු තමන්ගේ අත් උන් පිට තැබූ හ.</verse>
				<verse number="24">ඉන්පසු පූජකයෝ උන් මරා, මුළු ඉශ්රායෙල් උදෙසා සමඟි කරන පිණිස උන්ගේ ලේ පාප පූජාවක් කොට පූජාසනය පිට ඉස්සෝ ය. මන්ද, “මුළු ඉශ්රායෙල් සෙනඟ උදෙසා දවන යාග පූජා වත්, පාප පූජා වත් ඔප්පු කළ යුතු ය”යි නියම කර තිබිණි.</verse>
				<verse number="25">තවද, ඔහු දාවිත්ගේ ද රජුගේ දිවැසිවරයා වූ ගාද්ගේ ද දෙවියන් වහන්සේට කැප මිනිසෙකු වූ දිවැසිවර නාතාන්ගේ ද අණ පරිද්දෙන් අත්තල් ද වීණා ද මහා වීණා ද ඇති ව ලෙවීවරුන් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සිටෙව්වේ ය. මන්ද, ඒ ආඥාව දිවැසිවරුන් මඟින් සමිඳාණන් වහන්සේගෙන් පැමිණ තිබිණි.</verse>
				<verse number="26">ලෙවීවරු දාවිත්ගේ තූර්ය භාණ්ඩ ද පූජකයෝ හොරණෑ ද රැගෙන සිටියෝ ය.</verse>
				<verse number="27">හෙසකියා ද පූජාසනය පිට දවන යාග පූජාව ඔප්පු කරන්න අණ කළේ ය. දවන යාග පූජාව පටන්ගන්න වේලාවේ සමිඳාණන් වහන්සේගේ ගී ද හොරණෑ ශබ්දය ද ඉශ්රායෙල් රජ වූ දාවිත්ගේ තූර්ය භාණ්ඩවල හඬ ද ඇති ව එය පටන්ගන්න ලදී.</verse>
				<verse number="28">මුළු සභාව වැඳ වැටී සිටියා ය. ගී ගයන්නෝ ගී ගැයූ හ. හොරණෑකාරයෝ නළා පිම්බෝ ය. දවන යාග පූජාව නිම වන තුරු සියල්ල එසේ පැවතිණි.</verse>
				<verse number="29">පූජා ඔප්පු කර නිම වූ කල රජ ද ඔහු සමඟ සිටි සියල්ලෝ ද දණින් වැටී වැන්දෝ ය.</verse>
				<verse number="30">හෙසකියා රජ ද අධිපතීහු ද දාවිත්ගේත්, දිවැසිවරයා වන ආසාප්ගේත් වචනවලින් සමිඳාණන් වහන්සේට ප්‍රශංසා ගී කියන්න ලෙවීවරුන්ට අණ කළෝ ය. ඔව්හු ප්‍රීතියෙන් ප්‍රශංසා ගී ගයා හිස නමා වැන්දෝ ය.</verse>
				<verse number="31">එවිට හෙසකියා කතා කොට, “දැන් ඔබ හැම සමිඳාණන් වහන්සේට කැප වී සිටින බැවින් ළං වී යාග ද ස්තුති පූජා ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන්නැ”යි කීවේ ය. සභාව යාග ද ස්තුති පූජා ද භාර පඬුරු වශයෙන් දවන යාග පූජා ද සතුටින් ගෙනාහ.</verse>
				<verse number="32">සභාව ගෙනා දවන යාග පූජාවල ගණන ගොනුන් හැත්තෑවකුත්, බැටළුවන් සියයකුත්, බැටළු පැටවුන් දෙසියයකුත් ය. මේ සියල්ල ගෙනාවේ, සමිඳාණන් වහන්සේට දවන යාග පූජා පිණිස ය.</verse>
				<verse number="33">කැප කරනු ලැබූ පඬුරු නම්, ගොන්නු හයසියයකුත්, බැටළුවෝ තුන්දහසකුත් ය.</verse>
				<verse number="34">එහෙත්, පූජකයන් මදි වූ නිසා සියලු දවන යාග පූජා සූදානම් කරන්න බැරි විය. ඒ නිසා ඔවුන්ගේ සහෝදර ලෙවීවරු, වැඩ කටයුතු නිම වන තුරුත්, අනික් පූජකයන් පවිත්‍ර වන තුරුත් ඔවුනට උදව් වූවෝ ය. මන්ද, තමන් පවිත්‍ර වීම ගැන ලෙවීවරු පූජකයන්ට වඩා අවංක ව සිටියෝ ය.</verse>
				<verse number="35">සහභාගිකමේ පූජාවල තෙලත්, දවන යාග සඳහා වූ පාන පූජාවලුත් ඇතුළු ව දවන යාග පූජා බොහෝ සෙයින් තිබිණි. මෙසේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිළිවෙළට නැවත සිදු කරන ලද්දේ ය.</verse>
				<verse number="36">දෙවියන් වහන්සේ සෙනඟ උදෙසා සූදානම් කළ දේ හදිසියෙන් පවත්වන්න සිදු වූ නිසා හෙසකියා ද මුළු සෙනඟ ද ප්‍රීති වූ හ.</verse>
			</chapter>
			<chapter number="30">
				<verse number="1">ඉන්පසු හෙසකියා ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට පාස්කු මංගල්‍යය පවත්වන පිණිස ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාවට එන්න කියා ඉශ්රායෙල් රට හා ජුදා දේශය මුළුල්ලෙහි දන්වා යැවී ය. එප්‍රායිම් ජනයාට සහ මනස්සේ ජනයාටත් ලියුම් ලියා යැවී ය.</verse>
				<verse number="2">සෑහෙන පමණ පූජකයන් පවිත්‍ර නොවූ නිසාත්, සෙනඟ ජෙරුසලමට රැස් නොවූ නිසාත්, නියම කාලයට පාස්කු මංගල්‍යය පවත්වන්න නොහැකි ව,</verse>
				<verse number="3">දෙ වන මාසයේ එය පවත්වන්න රජ ද ඔහුගේ අධිපතීහු ද සම්මත කරගත්හ.</verse>
				<verse number="4">ඒ කරුණ රජුටත්, මුළු සභාවටත් සුදුසු යයි පෙනිණි.</verse>
				<verse number="5">බොහෝ කාලයක පටන් විශාල පිරිසක් ව්‍යවස්ථාවේ ලියා තිබෙන ආකාරයට පාස්කුව නොපැවැත් වූ නිසා, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ පාස්කුව ජෙරුසලමෙහි පවත්වන පිණිස එන ලෙස ඔව්හු බෙයර්-ෂෙබා සිට දාන් දක්වා ඉශ්රායෙල් රට මුළුල්ලෙහි ප්‍රසිද්ධ කරන ලෙස නියෝගයක් කළෝ ය.</verse>
				<verse number="6">මෙසේ පණිවුඩකාරයෝ රජුගෙන් ද ඔහුගේ අධිපතීන්ගෙන් ද ලැබූ ලියුම් රැගෙන, රජුගේ ආඥාවේ ප්‍රකාරයට ඉශ්රායෙල් රට ද ජුදා දේශය ද මුළුල්ලෙහි ගොස් කතා කොට, “ඉශ්රායෙල් ජනයෙනි, ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවි සමිඳාණන් වහන්සේ වෙත හැරී එන්න. එවිට අසිරියාවෙහි රජුන්ගේ අතින් ගැළවී ඉතුරු ව සිටින ඔබ වෙත උන් වහන්සේ හැරෙනු ඇත.</verse>
				<verse number="7">තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් කළ ඔබේ පියවරුන්ටත්, සහෝදරයන්ටත් සමාන නොවන්න. ඔබට පෙනෙන හැටියට උන් වහන්සේ ඔවුන් ව්‍යසනයට පාවා දුන් සේක.</verse>
				<verse number="8">ඉතින් ඔබේ පියවරුන් මෙන් ඔබ මුරණ්ඩු නොවී සමිඳාණන් වහන්සේට ගිවිසුම් දී, උන් වහන්සේ සදහට ම පවිත්‍ර කළ උන් වහන්සේගේ ශුද්ධස්ථානයට ඇතුළු වී උන් වහන්සේගේ තද උදහස ඔබ කෙරෙන් පහවන පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට වන්දනා නමස්කාර කරන්න.</verse>
				<verse number="9">මන්ද, ඔබ සමිඳාණන් වහන්සේ වෙත හැරුණොත්, ඔබේ සහෝදරයන් ද දරුවන් ද තමන් අල්ලාගෙන ගිය අයගෙන් කරුණාව ලැබ මේ දේශයට නැවත හැරී එනු ඇත. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ දයානුකම්පාව ඇති කෙනෙකි; ඔබ උන් වහන්සේ වෙත හැරුණොත්, උන් වහන්සේ ස්වකීය මුහුණ ඔබ කෙරෙන් හරවා නොගන්න සේකැ”යි කීවෝ ය.</verse>
				<verse number="10">මෙසේ පණිවුඩකාරයෝ එප්‍රායිම් සහ මනස්සේ රට මුළුල්ලෙහි සාබුලොන් දක්වා ම නුවරින් නුවරට ගියෝ ය. එහෙත්, මිනිස්සු ඔවුන්ට සිනාසී සරදම් කළහ.</verse>
				<verse number="11">එසේ වුවත්, ආෂෙර්හි ද මනස්සේහි ද සාබුලොන්හි ද සමහරු අවනත වී ජෙරුසලමට ආවෝ ය.</verse>
				<verse number="12">සමිඳාණන් වහන්සේගේ වචනය පරිදි රජුගේ සහ අධිපතීන්ගේ ආඥාව පිළිපදින පිණිස ජුදාවරුන් එක් සිත් කරවන ලෙස දෙවියන් වහන්සේගේ හස්තය ඔවුන් පිට ද වූයේ ය.</verse>
				<verse number="13">මෙසේ දෙ වන මාසයේ මුහුන් නොදැමූ රොටි මංගල්‍යය පවත්වන පිණිස ඉමහත් සභාවක් වූ බොහෝ සෙනඟ ජෙරුසලමට රැස් වුණෝ ය.</verse>
				<verse number="14">ඔව්හු පැමිණ ජෙරුසලමෙහි තිබූ පූජාසන පහකළෝ ය. සියලු දුම් පූජාසනත් පහකොට ඒවා කිද්‍රොන් ඔයට දැමුවෝ ය.</verse>
				<verse number="15">යළිත් ඔව්හු දෙ වන මාසයේ දහහතර වන දා පාස්කු බැටළුවන් මැරූ හ. පූජකයෝ ද ලෙවීවරු ද ලජ්ජාවට පැමිණ තුමූ ම පවිත්‍ර වී, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට දවන යාග පූජා ගෙනාවෝ ය.</verse>
				<verse number="16">ඔව්හු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ හැටියට තම තමන්ගේ නියම පිළිවෙළට තම තමන්ගේ ස්ථානවල සිටගත්හ. පූජකයෝ ලෙවීවරුන්ගේ අතින් ලේ රැගෙන ඉස්සෝ ය.</verse>
				<verse number="17">මන්ද, පවිත්‍ර නො වූ බොහෝ දෙනෙක් සභාවෙහි සිටියෝ ය. ඒ නිසා සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිස පිරිසිදු නො වූ සියල්ලන් උදෙසා පාස්කු බැටළු පැටවුන් මැරීම ලෙවීවරුන්ට බාර විය.</verse>
				<verse number="18">මන්ද, ජනයාගෙන් විශාල සමූහයක් එනම්, එප්‍රායිම්ගෙන් ද මනස්සේගෙන් ද ඉස්සාකර්ගෙන් ද සාබුලොන්ගෙන් ද බොහෝ දෙනෙක් පිරිසිදු නොවී, ව්‍යවස්ථාවේ ලියා තිබෙන අන්දමට නියමයන් ඉටු නොකර පාස්කුව වැළඳූ හ. හෙසකියා ඔවුන් උදෙසා යාච්ඤා කරමින්,</verse>
				<verse number="19">“ශුද්ධස්ථානයේ පවිත්‍ර කිරීම ලෙස පිරිසිදු නොවූ නමුත්, තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වන දෙවියන් වහන්සේ සොයන්න තමන්ගේ සිත් යොමු කරගෙන සිටින සියල්ලන්ට කරුණාවන්ත සමිඳාණන් වහන්සේ කමා වන සේක්වා”යි කීවේ ය.</verse>
				<verse number="20">සමිඳාණන් වහන්සේ හෙසකියාට ඇහුම්කන් දී සෙනඟ සුව කළ සේක.</verse>
				<verse number="21">ජෙරුසලමෙහි සිටි ඉශ්රයෙල්වරු ද මුහුන් නොදැමූ රොටි මංගල්‍යය ඉමහත් ප්‍රීතියෙන් සත් දවසක් පැවැත් වූ හ. ලෙවීවරු ද පූජකයෝ ද මුළු ශක්තිය යොදා තූර්ය භාණ්ඩ රැගෙන ගී ගයමින්, සමිඳාණන් වහන්සේට දවසින් දවස ප්‍රශංසා කළෝ ය.</verse>
				<verse number="22">හෙසකියා සමිඳාණන් වහන්සේගේ මෙහෙය ගැන දක්ෂතාව ඇති සියලු ලෙවීවරුන් දිරි ගන්වන ලෙස මිත්‍ර ලීලාවෙන් කතා කෙළේ ය. ඔව්හු සහභාගිකමේ පූජා ඔප්පු කරමින් ද තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින් ද සත් දවසක් මංගල්‍ය පූජාවලින් වැළඳුවෝ ය.</verse>
				<verse number="23">මුළු සභාව ද තවත් සත් දවසක් මංගල්‍යය පවත්වන්න සම්මත කරගෙන, එය සත් දවසක් ප්‍රීතියෙන් පැවැත් වූ හ.</verse>
				<verse number="24">මන්ද, ජුදාහි රජ වූ හෙසකියා ගොනුන් දහසක් සහ බැටළුවන් හත්දහසක් ද පූජා සඳහා සභාවට දුන්නේ ය. අධිපතීහු ද ගොනුන් දහසක් හා බැටළුවන් දසදහසක් සභාවට දුන්නෝ ය. පූජකයන්ගෙන් බොහෝ දෙනෙක් ද පවිත්‍ර වූ හ.</verse>
				<verse number="25">ජුදාහි මුළු සභාව ද පූජකයෝ ද ලෙවීවරු ද ඉශ්රායෙල් දේශයෙන් අවුත් සිටි නොහොත් ජුදාහි වාසය කළ විදේශිකයෝ ද ප්‍රීති වූ හ.</verse>
				<verse number="26">මෙසේ ජෙරුසලමෙහි ඉමහත් ප්‍රීතියක් විය. මන්ද, දාවිත්ගේ පුත් ඉශ්රායෙල් රජ වූ සලමොන්ගේ කාලයට පසු ජෙරුසලමෙහි එයාකාර සිද්ධියක් නො වී ය.</verse>
				<verse number="27">එවිට ලෙවීවරුන් වූ පූජකයෝ නැඟිට සෙනඟට ආශීර්වාද කළෝ ය. ඔවුන්ගේ හඬ අසනු ලැබී ය. ඔවුන්ගේ යාච්ඤාව උන් වහන්සේගේ පිරිසිදු වාසස්ථානය වන ස්වර්ගයෙහි පිළිගන්න ලදී.</verse>
			</chapter>
			<chapter number="31">
				<verse number="1">මේ සියල්ල නිම වූ කල එහි සිටි සියලු ඉශ්රායෙල්වරු ජුදාහි නගරවලට ගොස් රූපස්තම්භ බිඳ දමා, අෂේරා කප් කණු කපා දමා, ජුදාගේ මුළු රටේ ද බෙන්ජමින්ගේ රටේ ද එප්‍රායිම්ගේ රටේ ද මනස්සේගේ රටේ ද ගිරිකුළු සහ පූජාසන නැති වී යන තුරු ඒවා කඩා දැමුවෝ ය. ඉන්පසු ඉශ්රායෙල්වරු තම තමන්ගේ නගරවල තම තමන්ගේ උරුම දේශවලට හැරී ගියෝ ය.</verse>
				<verse number="2">හෙසකියා දවන යාග පූජා සහ සහභාගිකමේ පූජා ඔප්පු කරන්නත්, සමිඳාණන් වහන්සේගේ කඳවුරේ දොරටුවල සේවය කරන්නත්, ස්තුති ප්‍රශංසා කරන්නත්, පූජකයන්ගේත්, ලෙවීවරුන්ගේත් පංතිවල ප්‍රකාරයට, පූජකයන්ගෙන් ද ලෙවීවරුන්ගෙන් ද එකිනෙකාගේ සේවයේ හැටියට ඔවුන්ගේ පංති නියම කෙළේ ය.</verse>
				<verse number="3">තවද, සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන පරිදි දවන යාග පූජා සඳහා එනම්, උදේ සවස දවන යාග පූජා ද සබත් දවස්, අමාවක් සහ ප්‍රසිද්ධ මංගල්‍ය සම්බන්ධ දවන යාග පූජා ද සඳහා ඔහු ස්වකීය රාජ සම්පතින් කොටසක් නියම කෙළේ ය.</verse>
				<verse number="4">ඇරත්, පූජකයන් ද ලෙවීවරුන් ද සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාවෙහි යෙදී සිටීම පිණිස ඔවුන්ගේ කොටස් දෙන ලෙස ඔහු ජෙරුසලමෙහි විසූ සෙනඟට අණ කෙළේ ය.</verse>
				<verse number="5">මේ ආඥාව පතළ වූ විට ඉශ්රායෙල්වරු බොහෝ සෙයින් ම ධාන්‍යවලිනුත්, මුද්‍රික යුෂයෙනුත්, තෙල්වලිනුත්, මී පැණිවලිනුත්, භූමියේ සියලු අස්වනුවලිනුත් ප්‍රථම පල සහ සියල්ලෙන් දසයෙන් කොටසක් ද යහමින් ගෙනාවෝ ය.</verse>
				<verse number="6">ජුදාහි නගරවල විසූ ඉශ්රායෙල්වරු සහ ජුදාවරු ගොනුන්ගෙනුත්, බැටළුවන්ගෙනුත් දසයෙන් කොටසක් ගෙනාහ. ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට කැප කළ පවිත්‍ර දේවලින් දසයෙන් කොටසක් ද ඔව්හු ගෙනවුත් ගොඩවල් වශයෙන් තැබූ හ.</verse>
				<verse number="7">ඔව්හු තුන් වන මාසයේ දී ඒවා ගොඩගසන්න පටන් ගෙන හත් වන මාසයේ දී එම වැඩය නිම කළෝ ය.</verse>
				<verse number="8">හෙසකියා ද අධිපතීහු ද අවුත් ඒ ගොඩවල් බලා සමිඳාණන් වහන්සේටත්, උන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ටත් ප්‍රශංසා කළෝ ය.</verse>
				<verse number="9">හෙසකියා රජ ඒ ගොඩවල් ගැන පූජකයන්ගෙන් ද ලෙවීවරුන්ගෙන් ද විභාග කෙළේ ය.</verse>
				<verse number="10">එවිට ශාදොක්ගේ වංශයේ උත්තම පූජකයා වන අශරියා ඔහුට උත්තර දෙමින්, “සෙනඟ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පඬුරු ගෙනෙන්න පටන් ගත් දා සිට අපි සෑහෙන පමණ අනුභව කොට බොහෝ සෙයින් ඉතුරු කෙළෙමු. මන්ද, සමිඳාණන් වහන්සේ ස්වකීය සෙනඟට ආශීර්වාද කළ සේක. මේ විශාල කොටස ද ඉතිරි වී තිබේ ය”යි කීවේ ය.</verse>
				<verse number="11">එකල හෙසකියා සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ඇතුළු ගෙවල් පිළියෙළ කරන්න අණ කෙළේ ය. ඔව්හු එසේ පිළියෙළ කොට,</verse>
				<verse number="12">පඬුරු ද දසයෙන් කොටස් ද කැප කළ දේවල් ද සුරැකි ව තැබීමට ඒවා ඇතුළට ගෙනාහ. ලෙවීයයෙකු වූ කොනනියා ඒවා බලාගැනීමට පත් ව සිටියේ ය. ඔහුගේ සහෝදර ෂිමෙයි ඔහුට දෙවැනියා ව සිටියේ ය.</verse>
				<verse number="13">හෙසකියා රජුගේත්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ අධිපතියා වූ අශරියාගේත් නියමයේ ප්‍රකාරයට කොනනියා සහ ඔහුගේ සහෝදර වූ ෂිමෙයි යටතේ ජෙහීයෙල් ද අශශියා ද නහත් ද අසාහෙල් ද ජෙරීමොත් ද ජෝශාබාද් ද එලීයෙල් ද ඉස්මාකියා ද මහත් ද බෙනායා ද යන මොවුහු නිලධාරීන් ව සිටියෝ ය.</verse>
				<verse number="14">නැගෙනහිර දොරටු පාලකයා වූ, ලෙවීයෙකු වූ ඉම්නාගේ පුත් කෝරේ සමිඳාණන් වහන්සේගේ පඬුරුත්, අතිශුද්ධ දේත් බෙදා දෙන පිණිස සිය කැමැත්තෙන් ම දෙවියන් වහන්සේට ඔප්පු කළ දේවල් බාර ව සිටියේ ය.</verse>
				<verse number="15">ඔහු යටතේ වාර පිළිවෙළින් තමන්ගේ සහෝදරයන්ගෙන් ලොකු අයටත් කුඩා අයටත් බෙදා දෙන පිණිස, විශ්වාසවන්ත ව සහාය වීමට ඒදෙන් ද මිනියාමින් ද ජේෂුවා ද ෂෙමායා ද අමරියා ද ෂෙකනියා ද පූජකයන්ගේ නගරවල පත් ව සිටියෝ ය.</verse>
				<verse number="16">තුන් අවුරුදු වයසේ පටන් වංශ වශයෙන් ලියාපදිංචි වූ ඔවුන්ගේ පිරිමින් හැර, තමන්ගේ පංතිවල හැටියට තම තනතුරු ලෙස සේවය කිරීමට දවසින් දවස සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වූ සියල්ලන්ටත් ඔව්හු එසේ දුන්නෝ ය.</verse>
				<verse number="17">එනම්, තමන්ගේ පිය වංශවල හැටියට ලියාපදිංචි වූ අවුරුදු විස්සේ පටන් ඉන් ඉහළට වයස් ඇති තමන්ගේ පංතිවල තම තනතුරුවල සිටි පූජකයන් ද ලෙවීවරුන් ද</verse>
				<verse number="18">ලියාපදිංචි වූ ඔවුන්ගේ සියලු බාලයන් ද ඔවුන්ගේ භාර්යාවන් ද පුත්‍රයන් ද දූවරුන් ද යන මුළු සභාවට ඔව්හු ඒවා දුන්නෝ ය. තවද, තමන්ගේ නියම සේවය සඳහා ඔව්හු විශුද්ධ ව සිටියෝ ය.</verse>
				<verse number="19">තවද, තමන්ගේ නගරබද තණ බිම්වල විසූ පූජකයන් වූ ආරොන්ගේ පුත්‍රයන් උදෙසාත්, පූජකයන්ගේ සියලු පිරිමින්ට හා ලියාපදිංචි වූ සියලු ලෙවීවරුන්ට කොටස් දෙන පිණිස, නම් වශයෙන් පත් කොට ඇති මනුෂ්‍යයෝ සියලු නගරවල සිටියෝ ය.</verse>
				<verse number="20">හෙසකියා ජුදා මුළුල්ලෙහි මෙසේ කරමින් තමාගේ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යහපත් දේ ද හරි දේ ද යුක්තිසහගත දේ ද කෙළේ ය.</verse>
				<verse number="21">ඔහු තමාගේ දෙවියන් වහන්සේ සොයමින් උන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය ද ව්‍යවස්ථාව ද ආඥාව ද සම්බන්ධ ව පටන්ගත් සියලු කර්තව්‍යයන් තමාගේ මුළු සිතින් ඉෂ්ට කොට සමෘද්ධිමත් විය.</verse>
			</chapter>
			<chapter number="32">
				<verse number="1">මේ කාරණාවලටත්, මේ සේවයටත් පසු ව, අසිරියාවේ රජ වන සෙනකෙරීබ් අවුත්, ජුදා දේශයට ඇතුළු ව, පවුරු ඇති නගර අල්ලාගන්න සිතා ඒවාට විරුද්ධ ව කඳවුරු බැන්දේ ය.</verse>
				<verse number="2">සෙනකෙරීබ් පැමිණ ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කරන්න යන බව හෙසකියා දැක,</verse>
				<verse number="3">නගරයට පිටතින් තිබුණු උල්පත්වල වතුර නවත්වන්න තමාගේ අධිපතීන් ද බලවන්තයන් ද සමඟ මන්ත්‍රණය කරගත්තේ ය. ඔහුගේ යුද්ධ මණ්ඩලය ද ඔහුට උපකාර කෙළේ ය.</verse>
				<verse number="4">මෙසේ විශාල සෙනඟක් රැස් ව කතා කොට, “අසිරියාවේ රජවරුන් පැමිණි විට ඔවුන්ට බොහෝ වතුර ලැබෙන්න ඉඩ තබන්නේ කුමට දැ”යි කියා සියලු උල්පත් ද දේශය මැදින් ගලා යන ඔය ද නැවැත්තූ හ.</verse>
				<verse number="5">හෙසකියා ධෛර්යය වඩා, කඩා වැටී තිබුණු මුළු පවුර කොත් දක්වා ගොඩනැඟුවේ ය. පිටතින් ඔහු තවත් පවුරක් ගොඩනඟා, දාවිත්ගේ නුවරට තිබුණු මිටියාවතෙහි ආරක්ෂා සංවිධාන මිල්ලෝ සවිකර බොහෝ ආයුධ හා පලිස් සෑදුවේ ය.</verse>
				<verse number="6">ඔහු සෙනඟ කෙරෙහි යුද්ධාධිපතීන් පත් කොට, නුවර දොරකඩ එළිමහන් තැන ඔවුන් රැස්කර, ඔවුන්ට මිත්‍ර ලීලාවෙන් කතා කොට,</verse>
				<verse number="7">“අසිරියාවේ රජුට වත්, ඔහු සමඟ සිටින මුළු සමූහයට වත් බිය නොවී, නොකැළඹී, බලවත් ව, ධෛර්යවත් ව සිටින්න. මන්ද, ඔහු සමඟ සිටින තැනැත්තාට වඩා බලවන්තයෙක් අප සමඟ සිටින්නේ ය.</verse>
				<verse number="8">ඔහුට ඇත්තේ මනුෂ්‍ය බලයකි, එහෙත්, අපට පිහිට වී, අපේ යුද්ධ කරන පිණිස අප සමඟ වැඩ සිටින්නේ, අපේ දෙවි සමිඳාණන් වහන්සේ ය”යි කීවේ ය. සෙනඟ ජුදාහි රජ වන හෙසකියාගේ වචනය විශ්වාස කළහ.</verse>
				<verse number="9">මින්පසු අසිරියාවේ රජ වන සෙනකෙරීබ් තෙම තමාගේ මුළු සේනාව ඇති ව ලාකීෂ් ඉදිරිපිට සිටිය දී, ජෙරුසලමෙහි සිටි ජුදාහි රජ වන හෙසකියාටත්, ජෙරුසලමෙහි සිටි සියලු ජුදාවරුන්ටත් තමාගේ සේවකයන් අත මෙසේ කියා යැවී ය:</verse>
				<verse number="10">“අසිරියාවේ රජ වන සෙනකෙරීබ් මෙසේ කියන්නේ ය: ඔබ ජෙරුසලමේ බලකොටුවෙහි සිටින්නේ කුමක් කෙරෙහි විශ්වාස කරගෙන ද?</verse>
				<verse number="11">අපේ දෙවි සමිඳාණන් වහන්සේ අසිරියාවේ රජුගේ අතින් අප ගළවාගන්න සේකැ යි කියමින්, හෙසකියා ඔබ හැම පොළඹවන්නේ සාපිපාසයෙන් මැරෙන්න ඔබ සියල්ලන් භාර දෙන පිණිස නොවේ ද?</verse>
				<verse number="12">ගිරිකුළු දේවාල ද පහකොට, ඔබ එක ම පූජාසනයක් ඉදිරියෙහි නමස්කාර කරන්නටත්, ඒ පිට සුවඳ දුම් ඔප්පු කරන්නත් ඕනෑ ය කියා ජුදාටත්, ජෙරුසලමටත් අණ කෙළේ මේ හෙසකියා නොවේ ද?</verse>
				<verse number="13">මා සහ මාගේ පියවරුන් අන් දේශවල සියලු ජනයන්ට කළ දේ ඔබ දන්නේ නැද් ද? අන් දේශවල ජාතීන්ගේ දෙවිවරුන්ට කොයි අන්දමකින් වත් ඔවුන්ගේ දේශය මාගේ අතින් ගළවාගන්න පුළුවන් වූයේ ද?</verse>
				<verse number="14">මාගේ අතින් ඔබ හැම ගළවන්න ඔබේ දෙවියන්ට පුළුවන් වන ලෙස, මාගේ පියවරුන් වනසා ලූ ඒ ජාතීන්ගේ සියලු දෙවිවරුන් අතරෙන් තමාගේ සෙනඟ මාගේ අතින් ගළවන්න පුළුවන් වූයේ කාට ද?</verse>
				<verse number="15">එබැවින් ඔබ රවටන්න වත්, මෙලෙස ඔබ පොළඹවන්න වත් හෙසකියාට ඉඩ නොදෙන්න. ඔහු විශ්වාස නොකරන්න. මන්ද, කවර ජාතියක හෝ රාජ්‍යයක හෝ කිසි දෙවි කෙනෙකුට වත් තමාගේ සෙනඟ මාගේ අතින් වත්, මාගේ පියවරුන්ගේ අතින් වත් ගළවාගන්න පුළුවන් නො වී ය. එසේ නම්, ඔබේ දෙවියන් වහන්සේ ඔබ හැම මාගේ අතින් ගළවන්නේ කෙසේ දැ”යි කීවේ ය.</verse>
				<verse number="16">ඔහුගේ නිලධාරීහු දෙවි සමිඳාණන් වහන්සේටත්, උන් වහන්සේගේ මෙහෙකරු වන හෙසකියාටත් විරුද්ධ ව තවදුරටත් කතා කළෝ ය.</verse>
				<verse number="17">“තවද, අන් දේශවල ජාතීන්ගේ දෙවිවරුන් තමන්ගේ සෙනඟ මා අතින් නොගැළවූ ලෙස හෙසකියාගේ දෙවියනුත් තමන්ගේ සෙනඟ මාගේ අතින් ගළවන්නේ නැත” කියා ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේට නින්දාකර, උන් වහන්සේට විරුද්ධ ව කතා කරන පිණිස සෙනකෙරීබ් ලියුම් එවුවේ ය.</verse>
				<verse number="18">ඔව්හු නගරය අල්ලාගන්න පිණිස, පවුර පිට සිටි ජෙරුසලමේ සෙනඟ බයගන්වන්නත්, ඔවුන් කළඹන්නත් ජුදෙව් භාෂාවෙන් මහා හඬකින් මොරගසා,</verse>
				<verse number="19">මනුෂ්‍ය අතින් සාදා නිම කරන ලද මිහි පිට ජනයන්ගේ දෙවිවරුන් ගැන කතා කරන පරිදි, ජෙරුසලමේ දෙවියන් වහන්සේ ගැන කතා කළෝ ය.</verse>
				<verse number="20">ඒ නිසා හෙසකියා රජ ද ආමොස්ගේ පුත් දිවැසිවරයා වන යෙසායා ද යාච්ඤා කොට ස්වර්ගයට මොරගැසූ හ.</verse>
				<verse number="21">එවිට සමිඳාණන් වහන්සේ දේව දූතයෙකු එවූ සේක. ඔහු අසිරියාවේ රජුගේ කඳවුරේ සියලු බලවන්ත යුද්ධ භටයන් ද ප්‍රධානීන් ද අධිපතීන් ද මරා දැමුවේ ය. මෙසේ සෙනකෙරීබ් රජ අපකීර්තියට පත් වී හැරී තම දේශයට ආපසු ගියේ ය. ඔහු තමාගේ දෙවියන්ගේ ගෘහයට ගිය විට, තමාගේ ම පුත්‍රයෝ එහි දී ඔහු කඩුවෙන් මැරුවෝ ය.</verse>
				<verse number="22">මෙසේ සමිඳාණන් වහන්සේ හෙසකියා ද ජෙරුසලමේ වැසියන් ද අසිරියාවේ රජු වූ සෙනකෙරීබ්ගේ අතින් ද අනික් සියල්ලන්ගේ අතින් ද ගළවා හැම අතින් ම ඔවුන් ආරක්ෂා කළ සේක.</verse>
				<verse number="23">එවිට බොහෝ දෙනෙක් සමිඳාණන් වහන්සේට පඬුරු ද ජුදාහි රජ වන හෙසකියාට අනර්ඝ දේ ද දෙන පිණිස ජෙරුසලමට ඒවා ගෙනාවෝ ය. එතැන් පටන් ඔහු සියලු ජාතීන් ඉදිරියෙහි ශ්‍රේෂ්ඨ ව සිටියේ ය.</verse>
				<verse number="24">ඒ කාලයේ දී හෙසකියා මරණාසන්න වන තරම් රෝගාතුර වී සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. උන් වහන්සේ ඔහුට කතා කොට සලකුණක් ඔහුට දුන් සේක.</verse>
				<verse number="25">එහෙත්, හෙසකියා තමාට ලැබුණු කරුණාවේ හැටියට කෘතඥා නොවී සිතින් උඩඟු විය. ඒ නිසා ඔහු පිට ද ජුදා සහ ජෙරුසලම පිට ද උදහස පැමිණියේ ය.</verse>
				<verse number="26">එහෙත්, තම සිතේ උඩඟුකම ගැන හෙසකියා ද ජෙරුසලමේ වැසියන් ද යටත් වූ නිසා, හෙසකියාගේ දවස්වල දී සමිඳාණන් වහන්සේගේ උදහස නිසා උන් වහන්සේ ඔවුන්ට දඬුවම් නොකර පසු ව දඬුවම් කළ සේක.</verse>
				<verse number="27">හෙසකියා බොහෝ වස්තුව හා කීර්තිය භුක්ති වින්දේ ය. ඔහු රන් රිදීවලටත්, අනර්ඝ මැණික් ගල්වලටත්, සුවඳ ද්‍රව්‍යවලටත්, පලිස්වලටත්, සියලු ආකාර අනර්ඝ බඩුවලටත් ගබඩා ගෙවල් ද,</verse>
				<verse number="28">ධාන්‍යවල අස්වැන්නටත්, මුද්‍රික පානයටත්, තෙල්වලටත් ගබඩා ද, සියලු ආකාර ගවමහිෂයන්ට ගව මඩු ද, රැළවලට ගාල් ද සැදුවේ ය.</verse>
				<verse number="29">දෙවියන් වහන්සේ ඔහුට අතිශයින් ම සම්පත් දුන් නිසා ඔහු නගර ද බොහෝ එළු බැටළු ගව පට්ටි ද සපයා ගත්තේ ය.</verse>
				<verse number="30">මේ හෙසකියා රජ ගීහොන්හි වතුර ගලා එන ඉහළ උල්පත නවත්වා එය දාවිත්ගේ නුවරට බස්නාහිරෙන් කෙළින් බැස එන්න සැලැස්සුවේ ය. හෙසකියා තමාගේ සියලු වැඩවල දී සමෘද්ධිමත් විය.</verse>
				<verse number="31">එසේ වුවත්, දේශයෙහි සිද්ධ වූ ආශ්චර්යය ගැන විභාග කරන්න බබිලෝනියේ අධිපතීන් ඔහු ළඟට තානාපතීන් එවූ කල, ඔහුගේ සිතුම් පැතුම් සියල්ල දැන ගන්න පිණිස දෙවියන් වහන්සේ ඔහු සෝදිසි කිරීමට පමණක් ඔහු අත්හැරිය සේක.</verse>
				<verse number="32">හෙසකියාගේ අනික් ක්‍රියා ද ඔහුගේ භක්තිමත් කෘත්‍යයන් ද ආමොස්ගේ පුත් යෙසායා දිවැසිවරයාගේ දර්ශන පොතෙහි ද ජුදා සහ ඉශ්රායෙල් රජුන්ගේ පොතෙහි ද ලියා තිබේ.</verse>
				<verse number="33">හෙසකියා මියගිය පසු දාවිත්ගේ පුත්‍රයන්ගේ සොහොන් ගෙවල ඉහළ කොට්ඨාශයෙහි තැන්පත් කරනු ලැබුවේ ය. ඔහුගේ මරණයේ දී සියලු ජුදාවරු ද ජෙරුසලම් වැසියෝ ද ඔහුට ගෞරව කළෝ ය. ඔහුගේ පුත් මනස්සේ ඔහු වෙනුවට රජ විය.</verse>
			</chapter>
			<chapter number="33">
				<verse number="1">මනස්සේ දොළොස් අවුරුදු වයසේ දී රජ වී පණස්පස් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය.</verse>
				<verse number="2">සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් පන්නා දැමූ ජාතීන්ගේ පිළිකුල් ක්‍රියා හැටියට ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.</verse>
				<verse number="3">තම පිය වූ හෙසකියා කඩාදැමූ ගිරිකුළු දේවාල ඔහු නැවත ගොඩනඟා, බාල් දේවතාවන්ට පූජාසන ඉදි කොට අෂේරා කප් කණු සෑදුවේ ය. ඔහු අහසේ ග්‍රහතාරකාවන් සියල්ලට නමස්කාර කරමින් ඒවාට සේවය කෙළේ ය.</verse>
				<verse number="4">තවද, “මාගේ නාමය ජෙරුසලමෙහි සදහට ම පවතින්නේ ය”යි සමිඳාණන් වහන්සේ වදාළ උන් වහන්සේගේ මාලිගාවෙහි ඔහු අන් දෙවිවරුන්ට පූජාසන ගොඩනැඟුවේ ය.</verse>
				<verse number="5">මෙසේ ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මණ්ඩප දෙකේ ග්‍රහතාරකාවන් සියල්ලට පූජාසන ගොඩනැඟුවේ ය.</verse>
				<verse number="6">ඔහු තමාගේ පුත්‍රයන් හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතේ දී ගිනි පූජාවක් වශයෙන් ඔප්පු කෙළේ ය. ඔහු නිමිති බැලීම් ද ශාස්ත්‍ර කීම් ද මායම් ද උපයෝගී කොට, ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද ආශ්‍රය කෙළේ ය. සමිඳාණන් වහන්සේ කෝප කරවන හැටියට උන් වහන්සේගේ ඇස් හමුයෙහි ඔහු නපුරු දේ බොහෝ සෙයින් ම කෙළේ ය.</verse>
				<verse number="7">ඔහු සෑදූ දේවතා රූපය ද දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි තැබී ය. ඒ මාලිගාව ගැන දෙවියන් වහන්සේ දාවිත්ටත්, ඔහුගේ පුත් සලමොන්ටත් කතා කොට, “මේ මාලිගාවෙහිත්, මා විසින් සියලු ඉශ්රායෙල් ගෝත්‍ර අතරෙන් තෝරාගනු ලැබූ ජෙරුසලමෙහිත් මාගේ නාමය සදහට ම පවතින්නට සලසන්නෙමි.</verse>
				<verse number="8">මෝසෙස් අතින් ඉශ්රායෙල්වරුන් ලැබූ මුළු ව්‍යවස්ථාවේ ද පණත්වල ද නියෝගවල ද ප්‍රකාරයට මා ඔවුන්ට අණ කළ සියල්ල කරන හැටියට ඔව්හු බලාගන්නෝ නම්, නුඹලාගේ පියවරුන්ට මා නියම කළ දේශයෙන් ඔවුන්ට තවත් අහක් ව යන්න නොසලස්වන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="9">එහෙත්, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් විනාශ කරදැමූ ජාතීන්ට වඩා නපුරුකම් කරන හැටියට මනස්සේ ජුදාවරුන් ද ජෙරුසලමේ වැසියන් ද මුළා කෙළේ ය.</verse>
				<verse number="10">සමිඳාණන් වහන්සේ මනස්සේටත්, ඔහුගේ සෙනඟටත් කතා කළ නමුත් ඔව්හු සවන් නුදුන්නෝ ය.</verse>
				<verse number="11">ඒ නිසා සමිඳාණන් වහන්සේ අසිරියාවේ රජුගේ සේනාපතීන් ඔවුන්ට විරුද්ධ ව එවූ සේක. ඔව්හු මනස්සේ අල්ලා විලංගුවලින් ද දම්වැල්වලින් ද බැඳ බබිලෝනියට ගෙන ගියෝ ය.</verse>
				<verse number="12">ඔහු තමාගේ විපතේ දී තම දෙවි සමිඳාණන් වහන්සේට කන්නලව් කොට, තම පියවරුන්ගේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඉතා යටහත් වී,</verse>
				<verse number="13">උන් වහන්සේට යාච්ඤා කෙළේ ය. උන් වහන්සේ ඔහුට සවන් දී ඔහුගේ කන්නලව්ව අසා ජෙරුසලමටත්, ඔහුගේ රාජ්‍යයටත් නැවත ඔහු පැමිණෙවූ සේක. එවිට සමිඳාණන් වහන්සේ දෙවියන් වහන්සේ බව මනස්සේ දැනගත්තේ ය.</verse>
				<verse number="14">මින්පසු ඔහු දාවිත්ගේ නුවරින් පිට ගීහොන්ට බස්නාහිරෙන් මිටියාවතෙහි මත්ස්‍ය-දොරටුවෙන් ඇතුළු වන තැන දක්වා ඕපෙල් තාප්පය වටේට ඉතා උසට පවුරක් ගොඩනඟා, ජුදා දේශයෙහි පවුරු ඇති සියලු නගරවල සේනාපතීන් සිටෙව්වේ ය.</verse>
				<verse number="15">ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙන් අන් දෙවිවරුන් ද පිළිම ද උන් වහන්සේගේ මාලිගාව පිහිටි කන්දෙහිත්, ජෙරුසලමෙහිත් ගොඩනඟා තිබුණු සියලු පූජාසන ද පහකොට ඒවා නගරයෙන් පිටත දැමුවේ ය.</verse>
				<verse number="16">තවද, ඔහු සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිහිටුවා, ඒ පිට සහභාගිකමේ පූජා ද ස්තුති පූජා ද ඔප්පු කොට, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න ජුදාවරුන්ට අණ කෙළේ ය.</verse>
				<verse number="17">එහෙත්, සෙනඟ ඊට පසුත් ගිරිකුළු දේවාලවල පූජා කළෝ ය. එහෙත්, එසේ කෙළේ තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට පමණක් ය.</verse>
				<verse number="18">මනස්සේගේ අනික් ක්‍රියා ද ඔහු තමාගේ දෙවියන් වහන්සේට ඔප්පු කළ යාච්ඤාව ද ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔහුට කතා කළ දිවැසිවරයාගේ වචන ද ඉශ්රායෙල් රජවරුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයෙහි ලියා තිබේ.</verse>
				<verse number="19">ඔහුගේ යාච්ඤාව ද දෙවියන් වහන්සේ ඔහුට ඇහුම්කන් දුන් හැටි ද ඔහුගේ සියලු පාපයන් ද ඔහුගේ ද්‍රෝහිකම් ද ඔහු යටහත් වන්න පළමුවෙන් ඔහු ඉදි කළ කඳු මත පූජාස්ථාන ද අෂේරා කප් කණු සහ කැපූ රූප සිටෙවූ ස්ථාන ද දර්ශකයන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයෙහි ලියා තිබේ.</verse>
				<verse number="20">මෙසේ මනස්සේ මියගිය පසු ඔහුගේ ගෙදර සොහොන් ගෙයි ඔහු තැන්පත් කරනු ලැබුවේ ය. ඔහුගේ පුත් ආමොන් ඔහු වෙනුවට රජ විය.</verse>
				<verse number="21">ආමොන් විසි අවුරුදු වයසේ දී රජ වී දෑවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය.</verse>
				<verse number="22">ඔහු තමාගේ පිය වූ මනස්සේ කළ පරිදි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කරමින්, තමාගේ පිය වූ මනස්සේ සෑදූ සියලු රූපවලට පූජා කොට වැඳුම්පිදුම් කෙළේ ය.</verse>
				<verse number="23">ඔහුගේ පිය වූ මනස්සේ යටහත් වුණ ලෙස ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යටහත් නො වී ය. මෙම ආමොන් වඩ වඩා අපරාධ කෙළේ ය.</verse>
				<verse number="24">ඔහුගේ සේවකයෝ ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණ කොට ඔහුගේ ම රජ මැදුරේ දී ඔහු මැරුවෝ ය.</verse>
				<verse number="25">එහෙත්, දේශයේ සෙනඟ ආමොන් රජුට විරුද්ධ ව මන්ත්‍රණය කළ සියල්ලන් මරා ඔහුගේ පුත් ජොෂියා ඔහු වෙනුවට රජකමට පත් කළෝ ය.</verse>
			</chapter>
			<chapter number="34">
				<verse number="1">ජොෂියා අට අවුරුදු වයසේ දී රජ වී තිස්එක් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය.</verse>
				<verse number="2">ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි යහපත් දේ කරමින් තමාගේ පිය වූ දාවිත්ගේ ආදර්ශය අකුරට ම පිළිපැද්දේ ය.</verse>
				<verse number="3">ඔහු රජකමට පත් වූ අට වන අවුරුද්දේ, බාල වියේ සිටිය දී ම, තමාගේ පිය වූ දාවිත්ගේ දෙවියන් වහන්සේ සොයන්න පටන්ගෙන, දොළොස් වන අවුරුද්දේ දී ගිරිකුළු දේවාල ද අෂේරා කප් කණු ද කැපූ රූප ද වාත්තු රූප ද පහකර ජුදා සහ ජෙරුසලම පිරිසිදු කරන්න පටන් ගත්තේ ය.</verse>
				<verse number="4">ඔහු බලාගෙන සිටිය දී බාල් පූජාසන කඩා දමන ලද්දේ ය. ඒවාට උඩින් තිබුණු සුවඳ දුම් පුදන පූජාසන ඔහු කඩා දමා, අෂේරා කප් කණු ද කැපූ රූප ද වාත්තු රූප ද බිඳ කුඩු කොට, ඒවාට පූජා කළ අයවලුන්ගේ මිනීවළවල් පිට ඔහු ඒවා ඉස්සේ ය.</verse>
				<verse number="5">ඔහු පූජකයන්ගේ ඇටකටු ඔවුන්ගේ පූජාසන පිට පුළුස්සා, ජුදා ද ජෙරුසලම ද පිරිසිදු කෙළේ ය.</verse>
				<verse number="6">තවද, ඔහු නප්තලී දක්වා මනස්සේගේ ද එප්‍රායිම්ගේ ද සිමියොන්ගේ ද දේශයන්හි නගර මුළුල්ලෙහි ද ඒවා අවට කෙලසන ලද පළාත්හි ද එලෙස කෙළේ ය.</verse>
				<verse number="7">ඔහු ඉශ්රායෙල් දේශය මුළුල්ලෙහි තිබූ පූජාසන කඩා දමා, අෂේරා කප් කණු ද කැපූ රූප ද බිඳ දමා, ඒවා කුඩුකර, සියලු සුවඳ දුම් පූජාසන වනසා ජෙරුසලමට හැරී ආයේ ය.</verse>
				<verse number="8">තවද, ඔහු රජකමට පත් වූ දහඅට වන අවුරුද්දේ දී දේශයත්, දේව මාලිගාවත් පවිත්‍ර කළ පසු, තමාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාව අලුත්වැඩියා කරන පිණිස, අසලියාගේ පුත් ෂාපාන් ද නුවර අධිපතියා වූ මයසේයා ද වාර්තාකරුවා වන ජෝවාහාස්ගේ පුත් ජෝවා ද යැවී ය.</verse>
				<verse number="9">ඔව්හු උත්තම පූජකයා වූ හිල්කියා ළඟට පැමිණ දෙවියන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන ලද, දොරටු පාලකයන් වන ලෙවීවරුන් විසින් මනස්සේවරුන්ගෙන් ද එප්‍රායිම්වරුන්ගෙන් සහ ඉතුරු ව සිටි සියලු ඉශ්රායෙල්වරුන්ගෙන් ද සියලු ජුදාවරුන්ගෙන් ද බෙන්ජමින්වරුන්ගෙන් ද ජෙරුසලමේ වාසීන්ගෙන් ද එකතු කර ගන්න ලද මුදල් භාරගෙන,</verse>
				<verse number="10">සමිඳාණන් වහන්සේගේ මාලිගාව හරිගැස්සීමටත්, අලුත්වැඩියා කිරීමටත් මාලිගාවේ වැඩ කරන කර්මාන්තකාරයන්ට දෙන පිණිස, උන් වහන්සේගේ මාලිගාවේ වැඩ කිරීමට පත් වී සිටින තැනැත්තන් අතට ඒවා දුන්නෝ ය.</verse>
				<verse number="11">ඔව්හු කැපූ ගල් ද ජුදා රජුන් විසින් නැති කරන ලද ගෙවල යටලීවලට සහ බාල්කවලට ලී ද මිලේට ගන්න පිණිස වඩුවන්ටත්, ගල්වඩුවන්ටත් ඒවා දුන්නෝ ය.</verse>
				<verse number="12">ඒ මනුෂ්‍යයෝ විශ්වාසවන්ත ව වැඩ කළෝ ය. වැඩ බලා ගැනීමට මෙරාරීගේ පුත්‍රයන්ගෙන් ලෙවීවරුන් වන ජහත් ද ඔබදියා ද කොහාත්ගේ පුත්‍රයන්ගෙන් සෙකරියා ද මෙෂුල්ලාම් ද ඔවුන් කෙරෙහි පත් වී සිටියෝ ය. ලෙවීවරු සියල්ලෝ ම තූර්ය භාණ්ඩ ගැන තේරුම් පැහැදුම් ඇති අය වූ හ.</verse>
				<verse number="13">ඔව්හු බර උසුලන්නන් කෙරෙහිත්, එක එක සේවයේ වැඩය කරන සියල්ලන් කෙරෙහිත් නිලධාරීන් ව සිටියෝ ය. ලෙවීවරුන්ගෙන් සමහරු ලිපිකරුවන් ව, නිලධාරීන් ව, දොරටු පාලකයන් ව සිටියෝ ය.</verse>
				<verse number="14">තවද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනා මුදල් ඔවුන් එළියට ගන්න කල මෝසෙස් මඟින් දෙන ලද සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථා පොත හිල්කියා පූජකයාට සම්භ විය.</verse>
				<verse number="15">හිල්කියා තෙමේ ලේකම් වන ෂාපාන්ට කතා කොට, “ව්‍යවස්ථා පොත සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබී මට සම්භ වී ය”යි කියා ඒ පොත ෂාපාන්ට භාර දුන්නේ ය.</verse>
				<verse number="16">ෂාපාන් ද පොත ගෙන නැවත රජු ළඟට ගෙන ගොස්, “ඔබේ මෙහෙකරුවන්ට භාර දුන් සියල්ල ම ඔව්හු කරති.</verse>
				<verse number="17">සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ තිබූ මුදල් ගෙන ඔව්හු නිලධාරීන් අතටත්, කර්මාන්තකාරයන් අතටත් දුන්නෝ ය”යි රජුට දැන්වී ය.</verse>
				<verse number="18">තවද, ලේකම් වන ෂාපාන් රජුට කතා කොට, “පූජක වන හිල්කියා මට පොතක් භාර දුන්නේ ය” කියා රජු ඉදිරිපිට එයින් කියෙවුවේ ය.</verse>
				<verse number="19">රජ වනාහි ඒ ව්‍යවස්ථාවේ වචන ඇසූ විට ශෝකයෙන් තමාගේ ඇඳුම් ඉරාගත්තේ ය.</verse>
				<verse number="20">තවද, රජ හිල්කියාට ද ෂාපාන්ගේ පුත් අහිකාම්ට ද මීකාගේ පුත් අබ්දොන්ට ද ලේකම් වන ෂාපාන්ට ද රජුගේ සේවකයා වන අසායාට ද අණ කොට,</verse>
				<verse number="21">“ඔබ ගොස් මා උදෙසාත්, ඉශ්රායෙල්වරුන්ගෙන් ද ජුදාවරුන්ගෙන් ද ඉතුරු ව සිටින්නන් උදෙසාත් සම්භ වූ පොතේ වචන ගැන සමිඳාණන් වහන්සේගෙන් විමසන්න. මන්ද, මේ පොතෙහි ලියා තිබෙන සියල්ලේ හැටියට කරන ලෙස අපේ පියවරුන් සමිඳාණන් වහන්සේගේ වචනය රක්ෂා නොකළ බැවින්, අප පිට වගුරුවා තිබෙන උන් වහන්සේගේ උදහස මහත් ය”යි කීවේ ය.</verse>
				<verse number="22">එවිට හිල්කියා ද රජුගේ ආඥාව ලැබූ අනික් අය ද හස්රාගේ පුත්‍රයා වන තොක්හත්ගේ පුත් පූජක වස්ත්‍ර භාරකාරයා වූ ෂල්ලුම්ගේ භාර්යාව වන හුල්දා නම් දිවැසිවරිය වෙත ගොස් මේ ගැන ඈට කතා කළෝ ය. හුල්දා ජෙරුසලමේ දෙ වන කොටසෙහි විසුවා ය.</verse>
				<verse number="23">ඈ ඔවුන්ට මෙසේ කීවා ය: “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ඔබ මා වෙත එවූ මනුෂ්‍යයාට සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි කියන්න.</verse>
				<verse number="24">‘බලන්න, මම මේ දේශය පිටත්, මෙහි වැසියන් පිටත් විපත්තියක් වන ජුදා රජු ඉදිරියෙහි කියෙවූ පොතෙහි ලියා තිබෙන සියලු සාප පමුණුවන්නෙමි.</verse>
				<verse number="25">ඔවුන් මා අත්හැර තමන්ගේ සියලු හස්ත කර්මාන්තවලින් මා කෝප කරවන හැටියට වෙන දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කළ බැවින්, මාගේ උදහස මේ දේශය පිට වගුරුවා තිබේ. එය නිවෙන්නේ නැත.’</verse>
				<verse number="26">එහෙත්, සමිඳාණන් වහන්සේගෙන් විචාරන පිණිස ඔබ එවූ ජුදාහි රජුට මෙසේ කියන්න: ‘ඔබ ඇසූ වචන සම්බන්ධ ව ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.</verse>
				<verse number="27">මේ දේශයටත්, මෙහි වැසියන්ටත් විරුද්ධ ව දෙවියන් වහන්සේ වදාරා තිබෙන වචන ඔබ ඇසූ විට ඔබ සිත මොළොක් වී ඔබ උන් වහන්සේ ඉදිරියෙහි යටහත් වී, ශෝකයෙන් ඔබේ ඇඳුම් ඉරාගෙන මා ඉදිරියෙහි හැඬූ බැවිනුත්, මමත් ඔබට කන් දුනිමි. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.</verse>
				<verse number="28">මම ඔබේ පියවරුන්ගේ සොහොන් බිමට ඔබ පමුණුවන්නෙමි. මා විසින් මේ දේශයටත් මෙහි වැසියන්ටත් පමුණුවනු ලබන සියලු විපත්ති ඔබේ ඇස්වලින් නොදැක, ඔබේ සොහොනට ඔබ සාමදානයෙන් පැමිණෙන්නෙහි ය.’ “ ඔව්හු ද හැරී ඇවිත් රජුට එපවත් සැළ කළෝ ය.</verse>
				<verse number="29">එවිට රජ, පණිවුඩකාරයන් යවා ජුදා සහ ජෙරුසලමේ සියලු ප්‍රජා මූලිකයන් රැස් කරවාගෙන,</verse>
				<verse number="30">ජුදාහි සියලු මනුෂ්‍යයන් ද ජෙරුසලමේ වැසියන් ද පූජකයන් ද ලෙවීවරුන් ද ලොකු කුඩා මුළු සෙනඟ ද සමඟ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගියේ ය. තවද, ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබී සම්භ වූ ගිවිසුම් පොතේ සියලු වචන ද ඔවුන් අසාගෙන සිටිද්දී කියෙව්වේ ය.</verse>
				<verse number="31">රජ ස්වකීය ස්ථානයෙහි සිට ඒ පොතෙහි ලියන ලද ගිවිසුමේ වචන ඉෂ්ට කිරීමට සමිඳාණන් වහන්සේ අනුව යන හැටියටත්, උන් වහන්සේගේ ආඥා ද ශික්ෂා පද ද පණත් ද තමාගේ මුළු හෘදයෙන් ද තමාගේ මුළු ආත්මයෙන් ද පවත්වන හැටියටත් උන් වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කෙළේ ය.</verse>
				<verse number="32">ඔහු ජෙරුසලමෙහි ද බෙන්ජමින්ගේ දේශයෙහි ද සිටි සියල්ලන් ඊට එකඟ වන්නට සැලැස්සුවේ ය. ජෙරුසලමේ වැසියෝ ද දෙවියන් වහන්සේගේ එනම්, තමන්ගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේගේ ගිවිසුම ලෙස කළෝ ය.</verse>
				<verse number="33">ජොෂියා වනාහි ඉශ්රායෙල්වරුන්ට අයිති සියලු රටවලින් සියලු පිළිකුල් දේවල් පහකොට, ඉශ්රායෙල්හි සිටි සියල්ලන් තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න සැලැස්සුවේ ය. ඔහුගේ සියලු දවස්වල ඔව්හු තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙතින් පහව නොගියෝ ය.</verse>
			</chapter>
			<chapter number="35">
				<verse number="1">ජොෂියා ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේට පාස්කු මංගල්‍යයක් පැවැත්වී ය. ඔව්හු පළමු වන මාසයේ දහහතර වන දා පාස්කු බැටළු පැටවුන් මැරූ හ.</verse>
				<verse number="2">ජොෂියා, පූජකයන් ඔවුන්ගේ තනතුරුවලට පත්කොට, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මෙහෙයට ඔවුන් ධෛර්ය කරවී ය.</verse>
				<verse number="3">සියලු ඉශ්රායෙල්වරුන්ට ඉගැන්නුවා වූ ද සමිඳාණන් වහන්සේ උදෙසා ශුද්ධ ව සිටියා වූ ද ලෙවීවරුන්ට ඔහු කතා කොට, “ඉශ්රායෙල් රජ වූ දාවිත්ගේ පුත් සලමොන් විසින් සාදන ලද මාලිගාවෙහි ශුද්ධ ගිවිසුම් කරඬුව තබන්න. ඔබේ කර පිට තවත් බරක් නැත. දැන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නටත්, උන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ට සේවය කරන්නටත්,</verse>
				<verse number="4">ඉශ්රායෙල් රජ වූ දාවිත්ගේ ලියවිල්ලේ ද ඔහුගේ පුත් සලමොන්ගේ ලියවිල්ලේ ද ප්‍රකාරයට ඔබේ පිය වංශවල හැටියට ඔබේ පංති ලෙස සූදානම් වී,</verse>
				<verse number="5">සෙනඟගේ පුත්‍රයන් වන ඔබේ සහෝදරයන් උදෙසා පිය වංශවල බෙදීම්වල හැටියට ද ලෙවීවරුන් උදෙසා පිය වංශයකින් කොටසක් ඇති ව ද ශුද්ධස්ථානයෙහි සිට</verse>
				<verse number="6">පාස්කු බැටළු පැටවුන් මරන්න. ඔබ පවිත්‍ර වී, මෝසෙස් මඟින් ලත් සමිඳාණන් වහන්සේගේ වචනයේ හැටියට කිරීමට ඔබේ සහෝදරයන් උදෙසා උන් සූදානම් කරන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="7">ජොෂියා රජ ද පැමිණ සිටි සෙනඟගේ පුත්‍රයන් සියල්ලන්ට පාස්කු පූජා පිණිස ම ගණනේ හැටියට බැටළු පැටවුන් ද එළු පැටවුන් ද තිස්දහසකුත්, ගොනුන් තුන්දහසකුත් තමාගේ ම සම්පතෙන් දුන්නේ ය.</verse>
				<verse number="8">ඔහුගේ අධිපතීහු ද සෙනඟගේ ස්වේච්ඡා පූජා සඳහා සෙනඟටත්, පූජකයන්ටත්, ලෙවීවරුන්ටත් එලෙස දුන්නෝ ය. දෙවියන් වහන්සේගේ මාලිගාවේ අධිපතියන් වූ හිල්කියා ද ශෙකරියා ද ජෙහියෙල් ද පාස්කු පූජා පිණිස බැටළු පැටවුන් දෙදාස් හයසියයකුත්, ගොනුන් තුන්සියයකුත් පූජකයන්ට දුන්නෝ ය.</verse>
				<verse number="9">ලෙවීවරුන්ගේ අධිපතියන් වූ කොනනියා ද ෂෙමායා සහ නෙතනේල් යන ඔහුගේ සහෝදරයෝ ද හෂබියා ද ජෙයියෙල් ද ජෝශාබාද් ද පාස්කු පූජා පිණිස බැටළු පැටවුන් පන්දහසකුත්, ගොනුන් පන්සියයකුත් ලෙවීවරුන්ට දුන්නෝ ය.</verse>
				<verse number="10">මෙසේ පූජාකිරීමේ පිළිවෙත සූදානම් කරන ලද්දේ ය. පූජකයෝ තමන්ගේ ස්ථානයේ ද ලෙවීවරු තමන්ගේ පංතිවල ප්‍රකාරයට ද රජුගේ ආඥාව පරිද්දෙන් සිටියෝ ය.</verse>
				<verse number="11">ඔව්හු පාස්කු බැටළු පැටවුන් මැරුවෝ ය. පූජකයෝ ද ඔවුන් අතින් ලේ රැගෙන ඉස්සෝ ය. ලෙවීවරු සතුන් හම ගසා සූදානම් කළහ.</verse>
				<verse number="12">ඔව්හු මෝසෙස්ගේ පොතෙහි ලියා තිබෙන ලෙස සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිස දවන යාග පූජාව සෙනඟගේ පුත්‍රයන්ගේ පිය වංශ බෙදීම්වල හැටියට දීමට වෙන් කළෝ ය. ගවයින්ටත් එසේ ම කළෝ ය.</verse>
				<verse number="13">ඔව්හු පාස්කුව නීත්‍යනුකූල ව ගින්නෙන් පුළුස්සා, අනික් ශුද්ධ ආහාර ඇතිළිවල ද කටාරම්වල ද හැළිවල ද තම්බා, ඉක්මනින් ගෙනවුත් මුළු සෙනඟට ඒවා දුන්නෝ ය.</verse>
				<verse number="14">ඉන්පසු ඔව්හු තමන්ටත්, පූජකයන්ටත් ඒවා පිළියෙළ කළෝ ය. මන්ද, ආරොන්ගේ පුත්‍රයන් වූ පූජකයෝ දවන යාග පූජා ද තෙල් ද රෑ වන තුරු ඔප්පු කරමින් සිටියහ. ලෙවීවරු තමන්ටත්, ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන්ටත් ඒවා පිළියෙළ කළෝ ය.</verse>
				<verse number="15">ආසාප්ගේ පුත්‍රයන් වූ ගායකයෝ ද දාවිත්ගේත්, ආසාප්ගේත්, හේමන්ගේත්, රජුගේ දිවැසිවරයා වන ජෙදුතුන්ගේත් ආඥාවේ ප්‍රකාරයට තම තමන්ගේ ස්ථානයෙහි සිටියෝ ය. දොරටු පාලකයෝ එක එක දොරටුවෙහි සිටියෝ ය. තමන්ගේ සේවයෙන් අහක් ව යන්න ඔවුන්ට ඕනෑ කෙළේ නැත. මන්ද, ඔවුන්ගේ සහෝදර වූ ලෙවීවරුන් ඔවුන් උදෙසා ඒවා පිළියෙළ කළ බැවිනි.</verse>
				<verse number="16">මෙසේ ජොෂියා රජුගේ ආඥාව ලෙස පාස්කුව පවත්වන්නත්, සමිඳාණන් වහන්සේගේ පූජාසන පිට දවන යාග පූජා ඔප්පු කරන්නත් සමිඳාණන් වහන්සේගේ මුළු මෙහෙය එම දවසේ පිළියෙළ කර තිබුණේ ය.</verse>
				<verse number="17">එහි සිටි ඉශ්රායෙල්වරු පාස්කුවත්, මුහුන් නොදැමූ රොටි මංගල්‍යයත් ඒ කාලයෙහි සත් දවසක් පැවැත් වූ හ.</verse>
				<verse number="18">එයාකාර පාස්කුවක් දිවැසිවර සාමුවෙල්ගේ කාලයට පසු ව ඉශ්රායෙල්වරුන් අතරේ නොපවත්වන ලදී. ජොෂියා ද පූජකයන් ද ලෙවීවරුන් ද එහි සිටි ජුදා හා ඉශ්රායෙල්හි සියල්ලන් ද ජෙරුසලමේ වැසියන් ද පැවැත්වූවාක් මෙන් ඉශ්රායෙල් රජුන්ගෙන් කිසිවෙකු වත් එයාකාර පාස්කුවක් පැවැත්වූයේ නැත.</verse>
				<verse number="19">ඒ පාස්කුව පැවැත්වූයේ ජොෂියා රජකමට පත් වූ දහඅට වන අවුරුද්දේ දී ය.</verse>
				<verse number="20">ජොෂියා මේ සියල්ල කර මාලිගාව පිළියෙළ කළායින් පසු, මිසරයේ රජ වූ නෙකෝ, යුප්‍රටීස් ගඟ ළඟ තිබෙන කර්කෙමිෂ් නම් ස්ථානයට ඔවුන්ට විරුද්ධ ව යුද්ධ කරන්න ආවේ ය. ජොෂියා ද ඔහුට විරුද්ධ ව පිටත් ව ගියේ ය.</verse>
				<verse number="21">එහෙත්, මිසරයේ රජ ජොෂියා වෙත තානාපතියන් එවමින්, “ජුදාහි රජතුමෙනි, මාගෙන් ඔබට කුමන වැඩක් ද? ඔබට විරුද්ධ ව නොව මා සමඟ යුද්ධ කරන වංශයට විරුද්ධ ව අද මම එමි. ඉක්මන් වන්න කියා දෙවියන් වහන්සේ මට අණකළ සේක; දෙවියන් වහන්සේ මා සමඟ සිටින සේක. උන් වහන්සේ ඔබ විනාශ නොකරන පිණිස උන් වහන්සේගේ කාරණා ගැන හරස් නොවිය යුතු ය” කියා දැන්වී ය.</verse>
				<verse number="22">එහෙත්, ජොෂියා, නෙකෝ කී දෙවියන් වහන්සේගේ වචනය නොඅසා, ඔහු වෙතින් අහක් ව නොගොස්, ඔහු සමඟ යුද්ධ කරන පිණිස, වෙස් මාරුකරගෙන මෙගිද්දෝ මිටියාවතෙහි සටනට පැමිණියේ ය.</verse>
				<verse number="23">දුනුකාරයෝ ජොෂියා රජුට විද්දෝ ය. එවිට රජු කතා කොට, “මට බොහෝ තුවාළ වූ බැවින් අහකට ගෙනයන්නැ”යි තම සේවකයන්ට කී ය.</verse>
				<verse number="24">ඔහුගේ සේවකයෝ රථයෙන් ඔහු රැගෙන ඔහුගේ දෙ වන රථයට නංවාගෙන ජෙරුසලමට ආවෝ ය. ඔහු මියගිය පසු තමාගේ පියවරුන්ගේ සොහොන් ගෙවල තැන්පත් කරන ලද්දේ ය. සියලු ජුදාවරු ද ජෙරුසලමේ වැසියෝ ද ජොෂියා ගැන වැළපුණාහ.</verse>
				<verse number="25">ජෙරමියා වනාහි ජොෂියා ගැන විලාප ගීතිකාවක් කෙළේ ය. ගී ගයන සියලු මිනිස්සු ද ගී ගයන සියලු ස්ත්‍රීහු ද අද දක්වා තමන්ගේ විලාප ගීතිකාවලින් ජොෂියා ගැන කතා කරති. ඔව්හු ඒවා ඉශ්රායෙල් අතරෙහි නියෝගයක් කොට දුන්නෝ ය.</verse>
				<verse number="26">ඒවා විලාප ගීතිකාවල ලියා තිබේ. ජොෂියාගේ අනික් ක්‍රියා ද සමිඳාණන් වහන්සේගේ ව්‍යස්ථාවේ ලියා තිබෙන හැටියට ඔහු කළ භක්තිමත් වැඩ ද,</verse>
				<verse number="27">මුල පටන් අග දක්වා ඔහුගේ ඉතිහාසය ද ඉශ්රායෙල් සහ ජුදා රජවරුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයෙහි වාර්තාකර තිබේ.</verse>
			</chapter>
			<chapter number="36">
				<verse number="1">එවිට දේශයේ සෙනඟ ජොෂියාගේ පුත් ජෙහෝවාහාස් කැඳවාගෙන, ඔහුගේ පියා වෙනුවට ඔහු ජෙරුසලමෙහි රජකමට පත් කළෝ ය.</verse>
				<verse number="2">ජෙහෝවාහාස් විසිතුන් අවුරුදු වයසේ දී රජ වී, ජෙරුසලමෙහි තුන් මාසයක් රජකම් කෙළේ ය.</verse>
				<verse number="3">මිසරයේ රජ තෙමේ ජෙරුසලමේ දී ඔහු නෙරපා රිදී කිලෝග්‍රෑම් තුන්දහස් හාරසියයකුත්, රන් කිලෝග්‍රෑම් තිස්හතරකුත්, දේශයට දඩගසා,</verse>
				<verse number="4">ඔහුගේ සහෝදර වූ එලියාකීම් ජුදාහි සහ ජෙරුසලමෙහි රජකමට පත් කොට, ඔහුගේ නාමය ජෙහෝයාකිම් ය කියා වෙනස් කෙළේ ය. තවද, නෙකෝ ඔහුගේ සහෝදර වූ ජෙහෝවාහාස් රැගෙන මිසරයට ගියේ ය.</verse>
				<verse number="5">ජෙහෝයාකිම් විසිපස් අවුරුදු වයසේ දී රජ වී, එකොළොස් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහු තමාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.</verse>
				<verse number="6">බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් ඔහුට විරුද්ධ ව පැමිණ, බබිලෝනියට ගෙනයන පිණිස දම්වැල්වලින් ඔහු බැන්දේ ය.</verse>
				<verse number="7">සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සමහර භාණ්ඩත් නෙබුකද්නෙශර් බබිලෝනියට ගෙන ගොස් බබිලෝනියේ තම මාලිගාවෙහි තැබුවේ ය.</verse>
				<verse number="8">ජෙහෝයාකිම්ගේ අනික් ක්‍රියා ද ඔහු කළ පිළිකුල් දේවල් ද ඔහුට විරුද්ධ ව දැනගත් කාරණා ද ඉශ්රායෙල් සහ ජුදා රජවරුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයෙහි වාර්තා කර තිබේ. ඔහුගේ පුත් ජෙහෝයාකීන් ඔහු වෙනුවට රජ විය.</verse>
				<verse number="9">ජෙහෝයාකීන් දහඅට අවුරුදු වයසේ දී රජකමට පත් වී තුන් මාසයකුත් දස දවසක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.</verse>
				<verse number="10">ඊළඟ අවුරුද්දේ දී නෙබුකද්නෙශර් රජ ඔහු සහ සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි අනර්ඝ භාණ්ඩත් බබිලෝනියට ගෙන්වා, ඔහුගේ සහෝදර වූ ශෙදෙකියා ජුදා සහ ජෙරුසලමෙහි රජ කොට පත් කෙළේ ය.</verse>
				<verse number="11">ශෙදෙකියා විසිඑක් අවුරුදු වයසේ දී රජ වී, එකොළොස් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය.</verse>
				<verse number="12">ඔහු තමාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. සමිඳාණන් වහන්සේගේ වචන කී දිවැසිවරයා වූ ජෙරමියා ඉදිරියෙහි ඔහු යටහත් වූයේත් නැත.</verse>
				<verse number="13">තවද, දෙවියන් වහන්සේගේ නමින් ඔහු දිවුර වූ නෙබුකද්නෙශර් රජුට විරුද්ධ ව ඔහු කැරලි ගැසුවේ ය. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත නොහැරෙන ලෙස මුරණ්ඩු වී තමාගේ සිත දැඩි කරගත්තේ ය.</verse>
				<verse number="14">පූජකයන්ගේ සියලු ප්‍රධානීහු ද සෙනඟ ද ජාතීන්ගේ සියලු පිළිකුල් ක්‍රියා හැටියට බොහෝ සේ අපරාධ කරමින්, සමිඳාණන් වහන්සේ ජෙරුසලමෙහි විශුද්ධ කළ උන් වහන්සේගේ මාලිගාව අපවිත්‍ර කළෝ ය.</verse>
				<verse number="15">ඔවුන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ස්වකීය සෙනඟටත්, ස්වකීය වාසස්ථානයටත් අනුකම්පා කළ නිසා, උන් වහන්සේ නැවත නැවත පණිවුඩකාරයන් අත ඔවුන්ට කියා ඇරිය සේක.</verse>
				<verse number="16">එහෙත්, පිළියමක් නැති තරමට සමිඳාණන් වහන්සේගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධ ව පැමිණෙන ලෙස ඔව්හු දෙවියන් වහන්සේගේ පණිවුඩකාරයන්ට සරදම්කර, උන් වහන්සේගේ වචන සුළුකර උන් වහන්සේගේ දිවැසිවරුන්ට නින්දා කළෝ ය.</verse>
				<verse number="17">ඒ නිසා උන් වහන්සේ ඔවුන්ට විරුද්ධ ව කල්දිවරුන්ගේ රජ එවූ සේක. ඔහු ඔවුන්ගේ ශුද්ධස්ථානයේ දී ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් මැරී ය. ඔහු යෞවනයාට වත්, කන්‍යාවට වත්, මහල්ලාට වත්, රෝගියාට වත් අනුකම්පා නොකෙළේ ය. උන් වහන්සේ ඔවුන් සියල්ලන් ඔහු අතට පාවා දුන් සේක.</verse>
				<verse number="18">ඔහු දෙවියන් වහන්සේගේ මාලිගාවේ ලොකු කුඩා සියලු භාණ්ඩ ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වස්තු ද රජුගේත්, ඔහුගේ අධිපතීන්ගේත් වස්තු ද යන සියල්ල ම බබිලෝනියට ගෙන ගියේ ය.</verse>
				<verse number="19">ඔව්හු දෙවියන් වහන්සේගේ මාලිගාව දවාදමා, ජෙරුසලමේ පවුර කඩා, එහි සියලු මාලිගා ගින්නෙන් දවා, එහි තිබුණු සියලු අනර්ඝ බඩු විනාශ කළහ.</verse>
				<verse number="20">ඔහු කඩුපහරින් නොමළ අය බබිලෝනියට ගෙන ගියේ ය. පාර්සිවරුන් රජකමට පත්වීම දක්වා ඔහුටත්, ඔහුගේ පුත්‍රයන්ටත් ඔව්හු දාසයන් ව සිටියෝ ය.</verse>
				<verse number="21">මෙසේ වූයේ ජෙරමියාගේ මුඛයෙන් කියවන ලද සමිඳාණන් වහන්සේගේ වචනය සම්පූර්ණ වන පිණිස ය. ඒ වචනය නම්, “නොපවත්වන ලද සබත් විශ්‍රාමය පිරිමසන පිණිස සැත්තෑ අවුරුද්දක් දේශය පාළු වනු ඇත” යන්න යි.</verse>
				<verse number="22">එහෙත්, සමිඳාණන් වහන්සේ ජෙරමියාගේ මුඛයෙන් කියෙවූ වචනය සම්පූර්ණ වන පිණිස පාර්සියාවේ රජ වූ සයිරස්ගේ පළමු වන අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේ පාර්සියාවේ රජ වූ සයිරස්ගේ සිත පෙළඹෙවූ සේක. ඔහු වනාහි ප්‍රකාශයක් කරමින්, “ස්වර්ගයේ දෙවි සමිඳාණන් වහන්සේ පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ.</verse>
				<verse number="23">“තවද, උන් වහන්සේ ජුදාහි තිබෙන ජෙරුසලමෙහි උන් වහන්සේට මාලිගාවක් ගොඩනඟන්නට මට අණකර තිබේ. උන් වහන්සේගේ මුළු සෙනඟගෙන් ඔබ අතරේ සිටින්නේ කවරෙක් ද? ඔහු සමඟ ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේ වැඩ සිටින සේක් වා! ඔහු එතැනට යේවා යි පාර්සියාවේ සයිරස් දන්වන්නේ ය” කියා තමාගේ රාජ්‍යය මුළුල්ලෙහි ප්‍රසිද්ධ කොට ලියවිල්ලෙනුත් එය පතළ කරවී ය.</verse>
			</chapter>
		</book>
		<book number="15">
			<chapter number="1">
				<verse number="1">පර්සියාවේ රජ වූ සයිරස්ගේ පළමු වන අවුරුද්දේ දී, සමිඳාණන් වහන්සේ ජෙරමියා මඟින් ප්‍රකාශ කළ වචනය ඉටු වන පිණිස, උන් වහන්සේ පර්සියාවේ රජ වූ සයිරස්ගේ සිත උද්‍යෝගවත් කළ සේක. ඔහු තමාගේ රාජ්‍යයේ සතර දිග් භාගයෙහි ප්‍රසිද්ධියේ කියවන පිණිස ප්‍රකාශනයක් නිකුත් කෙළේ ය.</verse>
				<verse number="2">එය මෙසේ ය: “පර්සියාවේ රජු වන සයිරස් තෙමේ මෙසේ කියයි: ‘ස්වර්ගයේ දෙවි සමිඳාණන් වහන්සේ පොළෝ තලයෙහි සියලු රාජ්‍යයන් මට දී තිබේ. තවද, උන් වහන්සේ ජුදාහි ඇති ජෙරුසලම් නගරයෙහි උන් වහන්සේට මාලිගාවක් ගොඩනඟන්නට මට අණ කර තිබේ.</verse>
				<verse number="3">උන් වහන්සේගේ මුළු සෙනඟගෙන් ඔබ අතරේ සිටින කවර මිනිසකේ හෝ වේවා, දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සමඟ වැඩ සිටින සේක් වා! ඔහු ජුදාහි ඇති ජෙරුසලමෙහි සිටින ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන්නට ජෙරුසලමට යා යුතු ය. උන් වහන්සේ වූ කලී, ජෙරුසලමේ වැඩ සිටින දෙවියන් වහන්සේ ය.</verse>
				<verse number="4">යම් ජුදෙව්වෙක් ඉතිරි ව යම් තැනක සිටී ද, ඒ ස්ථානයේ සිටින මනුෂ්‍යයෝ ජෙරුසලමේ තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා සිය කැමැත්තෙන් දෙන පඬුර හැර, රන් රිදී ද බඩුබාහිරාදිය හා ගවමහිෂයන් ද දෙමින් ඔහුට උපකාර කරත් වා!’ ”</verse>
				<verse number="5">ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන පිණිස, දෙවියන් වහන්සේ විසින් සිත් උද්‍යෝගවත් කරවන ලද සියලු දෙනා ම එනම්, ජුදාවරුන්ගේත්, බෙන්ජමින්වරුන්ගේත් පිය වංශවල ප්‍රධානීහු ද පූජකයෝ ද ලෙවීවරු ද එහි යන්නට සූදානම් වූ හ.</verse>
				<verse number="6">ඔවුන් අවට සිටි සියල්ලෝ ද සිය කැමැත්තෙන් දුන් නා නා විධ පඬුරුවලට අමතර ව රිදී භාණ්ඩ ද රන් ද බඩුබාහිරාදිය ද ගවමහිෂයන් ද අනර්ඝ දේවල් ද යන මේවායින් ඔවුන්ට උපකාර කළහ.</verse>
				<verse number="7">තවද, සයිරස් රජු නෙබුකද්නෙශර් රජු ජෙරුසලමෙන් ගෙනවුත්, තමාගේ දේවාලයේ තැබූ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ භාණ්ඩ පිටතට ගෙනාවේ ය.</verse>
				<verse number="8">පර්සියාවේ රජ වූ සයිරස් ඒවා භාණ්ඩාගාරික වූ මිත්රෙදාත්ට භාර දුන්නේ ය. ඔහු ද ඒවා ජුදාහි අධිපති ෂෙෂ්බශර්ට ගණන් කර දුන්නේ ය.</verse>
				<verse number="9">බඩු ලැයිස්තුව මෙසේ ය: රන් තලි තිහකි, රිදී තලි දහසකි, විවිධ බඳුන් විසිනවයකි;</verse>
				<verse number="10">රන් ධූම පාත්‍ර තිහකි, දෙ වන තරමේ රිදී පාත්‍ර හාරසිය දහයකි, වෙනත් භාණ්ඩ දහසකි;</verse>
				<verse number="11">රන් රිදී සියලු භාණ්ඩවල ගණන පන්දාස් හාරසියයකි. විප්‍රවාසගත ව සිටි අය බබිලෝනියෙන් ජෙරුසලමට ආපසු පැමිණි විට ෂෙෂ්බශර් විසින් මේ සියල්ල ගෙනෙන ලද්දේ ය.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් විසින් අල්ලාගනු ලැබ, බබිලෝනියට ගෙන යන ලද්දවුන්ගෙන් විප්‍රවාසයෙන් මිදී, ආපසු පැමිණි දේශවාසීහු ජෙරුසලමේ හා ජුදාවේ තම තමන්ගේ නගරවලට පෙරළා පැමිණියහ. ඔවුන්ගේ නම් මෙසේ ය:</verse>
				<verse number="2">ඔවුන් පැමිණියේ, සෙරුබ්බාබෙල් ද ජේෂුවා ද නෙහෙමියා ද සෙරායා ද රේලායා ද මොර්දෙකයි ද බිල්ෂාන් ද මිශ්පාර් ද බිග්වායි ද රෙහුම් ද බානා ද සමඟ ය. ඉශ්රායෙල් ජනයා අතර වූ පිරිමින්ගේ ගණන මෙසේ ය:</verse>
				<verse number="3">පරොෂ්ගේ පුත්‍රයෝ දෙදාස් එකසිය හැත්තෑදෙදෙනෙක් ය.</verse>
				<verse number="4">ෂෙපටියාගේ පුත්‍රයෝ තුන්සිය හැත්තෑදෙදෙනෙක් ය.</verse>
				<verse number="5">ආරාන්ගේ පුත්‍රයෝ හත්සිය හැත්තෑපස්දෙනෙක් ය.</verse>
				<verse number="6">පාහත්-මෝවබ්ගේ පුත්‍රයන් වූ ජේෂුවාගේ ද ජෝවාබ්ගේ ද පුත්‍රයෝ දෙදාස් අටසිය දොළොස්දෙනෙක් ය.</verse>
				<verse number="7">ඒලාම්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය පණස්හතරදෙනෙක් ය.</verse>
				<verse number="8">ශට්ටුගේ පුත්‍රයෝ නවසිය හතළිස්පස්දෙනෙක් ය.</verse>
				<verse number="9">ශක්කායිගේ පුත්‍රයෝ හත්සිය හැටදෙනෙක් ය.</verse>
				<verse number="10">බානීගේ පුත්‍රයෝ හයසිය හතළිස්දෙදෙනෙක් ය.</verse>
				<verse number="11">බෙබායිගේ පුත්‍රයෝ හයසිය විසිතුන්දෙනෙක් ය.</verse>
				<verse number="12">අශ්ගාද්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය විසිදෙදෙනෙක් ය.</verse>
				<verse number="13">අදොනිකාම්ගේ පුත්‍රයෝ හයසිය හැටහයදෙනෙක් ය.</verse>
				<verse number="14">බිග්වායිගේ පුත්‍රයෝ දෙදාස් පණස්හයදෙනෙක් ය.</verse>
				<verse number="15">ආදීන්ගේ පුත්‍රයෝ හාරසිය පණස්හතරදෙනෙක් ය.</verse>
				<verse number="16">හෙසකියාගෙන් වූ ආටෙර්ගේ පුත්‍රයෝ අනූඅටදෙනෙක් ය.</verse>
				<verse number="17">බේශායිගේ පුත්‍රයෝ තුන්සිය විසිතුන්දෙනෙක් ය.</verse>
				<verse number="18">ජෝරාගේ පුත්‍රයෝ එකසිය දොළොස්දෙනෙක් ය.</verse>
				<verse number="19">හාෂුම්ගේ පුත්‍රයෝ දෙසිය විසිතුන්දෙනෙක් ය.</verse>
				<verse number="20">ගිබ්බාර්හි පුත්‍රයෝ අනූපස්දෙනෙක් ය.</verse>
				<verse number="21">බෙත්ලෙහෙමේ පුත්‍රයෝ එකසිය විසිතුන්දෙනෙක් ය.</verse>
				<verse number="22">නෙටොපාහි මනුෂ්‍යයෝ පණස්හයදෙනෙක් ය.</verse>
				<verse number="23">අනාතෝත්හි මනුෂ්‍යයෝ එකසිය විසිඅටදෙනෙක් ය.</verse>
				<verse number="24">අශ්මාවෙත්හි පුත්‍රයෝ හතළිස්දෙදෙනෙක් ය.</verse>
				<verse number="25">කිරියත්-ආරිමෙත්, කෙපිරායෙත් බෙයේරොතෙත් පුත්‍රයෝ හත්සිය හතළිස්තුන්දෙනෙක් ය.</verse>
				<verse number="26">රාමාහිත්, ගෙබාහිත් පුත්‍රයෝ හයසිය විසිඑක්දෙනෙක් ය.</verse>
				<verse number="27">මික්මාස්හි මනුෂ්‍යයෝ එකසිය විසිදෙදෙනෙක් ය.</verse>
				<verse number="28">බෙතෙල්හි ද ආයිහි ද මනුෂ්‍යයෝ දෙසිය විසිතුන්දෙනෙක් ය.</verse>
				<verse number="29">නෙබෝහි පුත්‍රයෝ පණස්දෙදෙනෙක් ය.</verse>
				<verse number="30">මග්බිෂ්හි පුත්‍රයෝ එකසිය පණස්හයදෙනෙක් ය.</verse>
				<verse number="31">අනික් ඒලාම්හි පුත්‍රයෝ එක්දාස් දෙසිය පණස්හතරදෙනෙක් ය.</verse>
				<verse number="32">හාරීම්හි පුත්‍රයෝ තුන්සිය විසිදෙනෙක් ය.</verse>
				<verse number="33">ලොද්හි ද හාදීද්හි ද ඕනෝහි ද පුත්‍රයෝ හත්සිය විසිපස්දෙනෙක් ය.</verse>
				<verse number="34">ජෙරිකෝවේ පුත්‍රයෝ තුන්සිය හතළිස්පස්දෙනෙක් ය.</verse>
				<verse number="35">සෙනායාහි පුත්‍රයෝ තුන්දාස් හයසිය තිස්දෙනෙක් ය.</verse>
				<verse number="36">පූජකයෝ නම්: ජේෂුවාගේ වංශයේ ජෙදායාගේ පුත්‍රයෝ නවසිය හැත්තෑතුන්දෙනෙක් ය.</verse>
				<verse number="37">ඉම්මෙර්ගේ පුත්‍රයෝ එක්දාස් පණස්දෙදෙනෙක් ය.</verse>
				<verse number="38">පෂ්හුර්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය හතළිස්හත්දෙනෙක් ය.</verse>
				<verse number="39">හාරීම්ගේ පුත්‍රයෝ එක්දාස් දහහත්දෙනෙක් ය.</verse>
				<verse number="40">ලෙවීවරු නම්: හෝදවියාගේ පුත්‍රයන්ගෙන් වූ ජේෂුවාගේ ද කද්මියෙල්ගේ ද පුත්‍රයෝ හැත්තෑහතරදෙනෙක් ය.</verse>
				<verse number="41">ගීතිකාකාරයන් වූ ආසාප්ගේ පුත්‍රයෝ එකසිය විසිඅටදෙනෙක් ය.</verse>
				<verse number="42">දොරටු පාලකයන්ගේ පුත්‍රයෝ එනම්: ෂල්ලුම්ගේ පුත්‍රයෝ ද ආටෙර්ගේ පුත්‍රයෝ ද ටල්මොන්ගේ පුත්‍රයෝ ද අක්කුබ්ගේ පුත්‍රයෝ ද හටිටාගේ පුත්‍රයෝ ද ෂෝබයිගේ පුත්‍රයෝ ද යන සියල්ලෝ එකසිය තිස්නවදෙනෙක් ය.</verse>
				<verse number="43">දේව මාලිගාවේ සේවකයන් වන නෙතිනීම්වරු නම්: ශීහාගේ පුත්‍රයෝ ය; හසුපාගේ පුත්‍රයෝ ය; ටබ්බාවොත්ගේ පුත්‍රයෝ ය;</verse>
				<verse number="44">කේරොස්ගේ පුත්‍රයෝ ය; සියාගේ පුත්‍රයෝ ය; පාදොන්ගේ පුත්‍රයෝ ය;</verse>
				<verse number="45">ලෙබානාගේ පුත්‍රයෝ ය; හගාබාගේ පුත්‍රයෝ ය; අක්කුබ්ගේ පුත්‍රයෝ ය;</verse>
				<verse number="46">හාගාබ්ගේ පුත්‍රයෝ ය; ෂම්ලායිගේ පුත්‍රයෝ ය; හානාන්ගේ පුත්‍රයෝ ය;</verse>
				<verse number="47">ගිද්දෙල්ගේ පුත්‍රයෝ ය; ගහර්ගේ පුත්‍රයෝ ය; රෙයායාගේ පුත්‍රයෝ ය;</verse>
				<verse number="48">රෙශීන්ගේ පුත්‍රයෝ ය; නෙකෝදාගේ පුත්‍රයෝ ය; ගස්සාම්ගේ පුත්‍රයෝ ය;</verse>
				<verse number="49">උශ්ශාගේ පුත්‍රයෝ ය; පාසේයාගේ පුත්‍රයෝ ය; බේසයිගේ පුත්‍රයෝ ය;</verse>
				<verse number="50">අස්නාගේ පුත්‍රයෝ ය; මෙයුනීම්ගේ පුත්‍රයෝ ය; නෙපීසිම්ගේ පුත්‍රයෝ ය;</verse>
				<verse number="51">බක්බුක්ගේ පුත්‍රයෝ ය; හකුපාගේ පුත්‍රයෝ ය; හර්හුර්ගේ පුත්‍රයෝ ය;</verse>
				<verse number="52">බශ්ලුත්ගේ පුත්‍රයෝ ය; මෙහිදාගේ පුත්‍රයෝ ය; හර්ෂාගේ පුත්‍රයෝ ය;</verse>
				<verse number="53">බර්කොස්ගේ පුත්‍රයෝ ය; සීසෙරාගේ පුත්‍රයෝ ය; තෙමාගේ පුත්‍රයෝ ය;</verse>
				<verse number="54">නෙශියාගේ පුත්‍රයෝ ය; හටිපාගේ පුත්‍රයෝ ය;</verse>
				<verse number="55">සලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ නම්: සෝටයිගේ පුත්‍රයෝ ය; හස්සොපෙරෙත්ගේ පුත්‍රයෝ ය; පෙරුදාගේ පුත්‍රයෝ ය;</verse>
				<verse number="56">ජයලාගේ පුත්‍රයෝ ය; දර්කොන්ගේ පුත්‍රයෝ ය; ගිද්දෙල්ගේ පුත්‍රයෝ ය;</verse>
				<verse number="57">ෂෙපටියාගේ පුත්‍රයෝ ය; හට්ටිල්ගේ පුත්‍රයෝ ය; පොකෙරෙත්-හශ්ශෙබායිම්ගේ පුත්‍රයෝ ය; ආමීගේ පුත්‍රයෝ ය.</verse>
				<verse number="58">දේව මාලිගාවේ සේවකයෝ ද සලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ ද යන සියල්ලෝ තුන්සිය අනූදෙදෙනෙක් ය.</verse>
				<verse number="59">තේල්-මෙලා, තේල්-හර්ෂා, කෙරුබ්, අද්දාන්, ඉම්මෙර් යන ස්ථානවල සිට ආවා වූ, තමන් ඉශ්රායෙල්වරුන් බවට තම තමන්ගේ පෙළපතත්, වංශයත් පෙන්වන්නට බැරි වුණා වූ අය නම්:</verse>
				<verse number="60">දෙලායාගේ පුත්‍රයෝ ද ටෝබියාගේ පුත්‍රයෝ ද නොකෝදාගේ පුත්‍රයෝ ද යන මොවුහු හයසිය පණස්දෙදෙනෙක් ය.</verse>
				<verse number="61">පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් හබායාගේ පුත්‍රයෝත්, හක්කොශ්ගේ පුත්‍රයෝත්, ගිලියදීය බර්ශල්ලයිගේ දූවරුන්ගෙන් භාර්යාවක පාවාගෙන ඔවුන්ගේ නාමය ලැබූ බර්සිල්ලයිගේ පුත්‍රයෝත් ය.</verse>
				<verse number="62">පෙළපත් වශයෙන් ගණන් ගන්නා ලද ලේඛනයෙහි ඔවුන්ගේ නම් සෙවූ නමුත්, හමුනොවූ බැවින්, මොවුහු අපවිත්‍ර යයි සලකනු ලැබ, පූජක තනතුරෙන් ඉවත් කරනු ලැබුවෝ ය.</verse>
				<verse number="63">ඌරීම් සහ තුම්මිම් දරන පූජකයෙකු නැඟිටින තුරු, අතිශුද්ධ දේවලින් නොකන හැටියට ආණ්ඩුකාරයා ඔවුන්ට අණ කෙළේ ය.</verse>
				<verse number="64">මුළු සභාවේ ගණන හතළිස් දෙදාස් තුන්සිය හැටක් ය.</verse>
				<verse number="65">ඒ හැර ඔවුන්ගේ දාසදාසීහු හත්දාස් තුන්සිය තිස්හත්දෙනෙක් ද සිටියෝ ය. ඔවුන් අතරේ ගායක ගායිකාවෝ දෙසියයක් සිටියෝ ය.</verse>
				<verse number="66">ඔවුන්ගේ අශ්වයෝ හත්සිය තිස්හයදෙනෙක් ය; ඔවුන්ගේ අශ්වතරයෝ දෙසිය හතළිස්පස්දෙනෙක් ය;</verse>
				<verse number="67">ඔවුන්ගේ ඔටුවෝ හාරසිය තිස්පස්දෙනෙක් ය; කොටළුවෝ හයදාස් හත්සිය විසිදෙනෙක් ය.</verse>
				<verse number="68">තවද, ඒ ඒ වංශවල ප්‍රධානීන්ගෙන් සමහරු ජෙරුසලමෙහි තිබෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පැමිණි කල්හි, දෙවියන් වහන්සේගේ මාලිගාව ස්වකීය ස්ථානයෙහි ගොඩනඟන පිණිස සිය කැමැත්තෙන් දුන් පඬුරු ඔප්පු කළහ.</verse>
				<verse number="69">ඔව්හු තමන්ගේ පුළුවන්කමේ හැටියට රන් කිලෝග්‍රෑම් පන්සියයක් ද රිදී කිලෝග්‍රෑම් දෙදහස් අටසියයක් ද පූජකවස්ත්‍ර සියයක් ද කර්මාන්ත සඳහා ගබඩාවට දුන්නෝ ය.</verse>
				<verse number="70">මෙසේ පූජකයෝ ද ලෙවීවරු ද සෙනඟගෙන් සමහරු ද ගායකයෝ ද දොරටු පාලකයෝ ද මාලිගාවේ සේවකයෝ ද ස්වකීය නගරවල විසූ හ. සියලු ඉශ්රායෙල්වරු ද ස්වකීය නගරවල විසූ හ.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">හත් වන මාසය වන විට, ඉශ්රායෙල් සෙනඟ තම තමන්ගේ නගරවල පදිංචි වී සිටියහ. එකල ඔව්හු එක් කෙනෙකු මෙන් ජෙරුසලමට රැස් වූ හ.</verse>
				<verse number="2">ඒ අවස්ථාවේ දී ජෝශාදාක්ගේ පුත් ජෝෂුවා ද පූජකයන් වූ ඔහුගේ සහෝදරයෝ ද ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් ද ඔහුගේ සහෝදරයෝ ද දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වූ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන ලෙස, දවන යාග පූජා ඔප්පු කරන පිණිස, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ පූජාසනය ගොඩනැඟීමට පටන්ගත්හ.</verse>
				<verse number="3">ඔව්හු විදෙස්වල ජනයාට බියෙන් සිටි නමුත්, පූජාසනය කලින් තිබුණ ස්ථානයෙහි පිහිටෙව්වෝ ය. ඔව්හු ඒ පූජාසනය මත උදය සවස සමිඳාණන් වහන්සේට දවන යාග පූජා ඔප්පු කළෝ ය.</verse>
				<verse number="4">ලියා තිබෙන නියමයන් ලෙස ඔව්හු කූඩාරම් මංගල්‍යයන් පවත්වමින්, එක එක දවසට නියම ගණන අනුව දවස් පතා දවන යාග පූජා ඔප්පු කළහ.</verse>
				<verse number="5">ඒවාට අමතර ව ඔව්හු නිරන්තර දවන යාග පූජා ද අමාවක්වලත්, සමිඳාණන් වහන්සේගේ සියලු නියමිත ශුද්ධ මංගල්‍යවලත් පූජා ද සමිඳාණන් වහන්සේට ඔප්පු කරන සියල්ලන්ගේ ස්වේච්ඡා පූජා ද ඔප්පු කළහ.</verse>
				<verse number="6">ඔව්හු හත් වන මාසයේ පළමු වන දා පටන් සමිඳාණන් වහන්සේට දවන යාග පූජා ඔප්පු කරන්නට පටන්ගත්හ. එහෙත්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම් ඒ වන තෙක් නොදමන ලද්දේ ය.</verse>
				<verse number="7">පර්සියාවේ රජ වූ සයිරස්ගෙන් තමන්ට ලැබුණු අවසරයේ හැටියට ලෙබනොන්හි සිට ජොප්පාවට මුහුදෙන් කිහිරි ගස් ගෙනෙන පිණිස ඔව්හු මේසන්වරුන්ටත්, වඩුවන්ටත් මුදල් ද සීදොන් වැසියන්ටත්, තීර් වැසියන්ටත් කෑම, බීම හා තෙල් ද දුන්නෝ ය.</verse>
				<verse number="8">ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාවට ඔවුන්ගේ පැමිණීමෙන් පසු, දෙ වන අවුරුද්දේ දෙ වන මාසයේ දී ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් ද ජෝශාදාක්ගේ පුත් ජෝෂුවා ද එහි වැඩ පටන්ගත්හ. ඔවුන්ගේ සෙසු සහෝදරයෝ ද පූජකයෝ ද ලෙවීවරු ද විප්‍රවාසයෙන් මිදී ජෙරුසලමට පැමිණි සියල්ලෝ ද ඔවුන්ට සහාය වූ හ. ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වැඩ බලාගැනීමට විසි අවුරුදු හා ඊට වැඩි වයසැති ලෙවීවරුන් පත් කළෝ ය.</verse>
				<verse number="9">එවිට ජේෂුවා සහ ඔහුගේ පුත්‍රයෝ ද සහෝදරයෝ ද කද්මියෙල් සහ ඔහුගේ පුත්‍රයන් වූ ජුදාගේ පුත්‍රයෝ සහ හෙනාදාද්ගේ පුත්‍රයෝ ද ඔවුන්ගේ පුත්‍රයෝ ද සහෝදරයෝ ද යන ලෙවීවරු එකමුතු ව දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩ කරන්නන් පිළිබඳ වගකීම තමන් අතරේ බෙදාගත්හ.</verse>
				<verse number="10">ගොඩනඟන අය සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම් දැමූ කල, ඉශ්රායෙල්හි රජ වූ දාවිත් නියම කළ අන්දමට සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, පූජකයෝ ස්වකීය ඇඳුමෙන් සැරසී හොරණෑ ඇති ව ද ආසාප්ගේ පුත්‍රයන් වන ලෙවීවරු අත්තල් ඇති ව ද ඉදිරියට ආහ.</verse>
				<verse number="11">ඔව්හු සමිඳාණන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින්, “උන් වහන්සේ යහපත් ය; මන්ද, ඉශ්රායෙල් කෙරෙහි උන් වහන්සේගේ කරුණාව සදහට ම පවතින්නේ ය”යි කියමින් ගී ගැයූ හ. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම දැමූ නිසා ඔවුන් සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කළ විට, මුළු සෙනඟ දෙවියන් වහන්සේට මහා ප්‍රශංසා ඝෝෂාවක් නැඟුවෝ ය.</verse>
				<verse number="12">එහෙත්, පළමු මාලිගාව දුටු මහලු අය වන බොහෝ පූජකයෝ ද ලෙවීවරු ද පිය වංශවල ප්‍රධානියෝ ද මාලිගාවේ අත්තිවාරම් දැමූ බව දුටු විට මහා හඬින් හැඬුවෝ ය. තවත් බොහෝ දෙනෙක් ප්‍රීති ඝෝෂා ද පැවැත්වූ හ.</verse>
				<verse number="13">ඒ නිසා ප්‍රීති ඝෝෂාවේ හඬ කුමක් ද කියා වත්, සෙනඟගේ හැඬීමේ හඬ කුමක් ද කියා වත් කිසිවෙකුට වෙන් වෙන් වශයෙන් හඳුනාගත නොහැකි විය. මන්ද, සෙනඟ මහා හඬින් ඝෝෂා කළෝ ය. ඒ ඝෝෂාව බොහෝ දුරට ඇසිණි.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">විප්‍රවාසයෙන් මිදී පැමිණි අය ඉශ්රායෙල්හි දෙවි සමිඳාණන් වහන්සේට මාලිගාවක් ගොඩනඟන බව ජුදාවරුන්ගේ ද බෙන්ජමින්වරුන්ගේ ද එදිරිකාරයෝ අසා,</verse>
				<verse number="2">සෙරුබ්බාබෙල් ද පිය වංශවල ප්‍රධානීන් ද වෙත අවුත්, ඔවුන්ට කතා කොට, “ඔබ හා සමඟ මාලිගාව ගොඩනඟන්නට අපටත් ඉඩ දෙන්න; මන්ද, ඔබ සේ ම අපිත් ඔබේ දෙවියන් වහන්සේ අදහමු; මෙතැනට අප ගෙනාවා වූ අසිරියාවේ රජු වන ඒසර්-හද්දොන්ගේ කාලයේ පටන් අපි උන් වහන්සේට පූජා කරමින් සිටියෙමු”යි කී හ.</verse>
				<verse number="3">එහෙත්, සෙරුබ්බාබෙල් ද ජෝෂුවා ද ඉශ්රායෙල් පිය වංශවල සෙසු ප්‍රධානීහු ද ඔවුන්ට කතා කොට, “අපේ දෙවියන් වහන්සේට මාලිගාවක් ගොඩනැඟීමේ දී ඔබ අප සමඟ එක් වීමෙන් අපට කිසි වැඩක් නැත. පර්සියාවේ සයිරස් රජ අපට අණ කර තිබෙන පරිදි, අපි පමණක් ම ඉශ්රායෙල් දෙවි සමිඳාණන් වහන්සේට එය ගොඩනඟන්නෙමු”යි කී හ.</verse>
				<verse number="4">එවිට දේශයේ සෙනඟ, ජුදා සෙනඟ අධෛර්යවත් කරවන්නටත්, තවදුරටත් ගොඩනැඟීමේ වැඩ නොකරන ලෙස ඔවුන් බියගන්වන්නත් පටන්ගත්හ.</verse>
				<verse number="5">තවද, ඔවුන්ගේ වැඩ ව්‍යර්ථ කරන පිණිස ඔව්හු රජයේ නිලධාරීන්ට අල්ලස් දුන්හ. මේ තත්ත්වය පර්සියාවේ රජු වූ සයිරස්ගේ මුල් කාලයේ සිට පර්සියාවේ රජු වූ දාරියුස් රජකමට පැමිණෙන තුරු ම පැවතිණි.</verse>
				<verse number="6">අහස්වේරොෂ් රජකමට පත් වූ මුල් කාලයේ දී ඔව්හු ජුදාහි ද ජෙරුසලමෙහි ද වැසියන්ට විරුද්ධ ව චෝදනාවක් ලියා ඉදිරිපත් කළහ.</verse>
				<verse number="7">තවද, අර්තක්ෂස්තා රජු දවස, බිෂ්ලාම් ද මිතේදාත් ද ටබෙයෙල් ද ඔවුන්ගේ සෙසු සහකාරයෝ ද පර්සියාවේ රජු වූ අර්තක්ෂස්තාට ලියුමක් ලියා යැවූ හ. ඒ ලියුම අරමීය භාෂාවෙන් අරමීය අකුරුවලින් ලියන ලද්දේ ය.</verse>
				<verse number="8">ආණ්ඩුකාරයා වූ රෙහුම් ද ලේකම් වූ ෂිම්ෂයි ද ජෙරුසලමට විරුද්ධ ව මතු දැක්වෙන ලියුම අර්තක්ෂස්තා රජුට ලියා යැවූ හ.</verse>
				<verse number="9">ආණ්ඩුකාර වූ රෙහුම් ද ලේකම් වූ ෂිම්ෂයි ද ඔවුන්ගේ සෙසු සහකාරයෝ ද විනිශ්චයකරුවෝ ද තානාපතියෝ ද පර්සියානු නිලධාරීහු ද උරුක් හා බබිලෝනි වැසියෝ ද සූසාහි ඒලාම්වරු ද</verse>
				<verse number="10">උතුම් වූ, ගරුතර වූ අසුර්බනිපාල් විසින් ගෙනෙන ලදුව, සමාරියේ නගරවල හා යුප්‍රටීස් ගඟෙන් එතෙර පළාතේ පදිංචි කරවන ලද සෙසු සෙනඟ ද එයට පංගුකාර වූ හ.</verse>
				<verse number="11">ඔව්හු අර්තක්ෂස්තා රජු වෙත මෙසේ ලියා යැවූ හ: “ගඟින් එතෙර වාසය කරන සෙනඟ වන අපි, රජතුමා වෙත මෙසේ ලියා එවමු:</verse>
				<verse number="12">ඔබ කෙරෙන් අප වෙත ආ ජුදෙව්වන් ජෙරුසලමට පැමිණ ඒ කැරලිකාර නපුරු නගරය ගොඩනඟන බව ඔබ තුමාට දැන්විය යුතු ය. පවුරුවල වැඩ නිම කරන්නට ළඟ ය. ඔව්හු අත්තිවාරම අලුත්වැඩියා කරගෙන යති.</verse>
				<verse number="13">ඉතින් මේ නගරය ගොඩනඟා පවුරු සාදා නිම කරනු ලැබුවොත් මොවුන් තීරු බද්ද වත්, ආදායම් බද්ද වත්, සුංගම් වත් නොදෙන බව ද මෙසේ අන්තිමේ දී රජුට එයින් අලාභ හානි සිද්ධ වන බව ද ඔබ තුමාට දැන්විය යුතු ය.</verse>
				<verse number="14">ඉතින් අපි ඔබ තුමාට ණයගැති ව සිටිය දී ඔබට අලාභ හානි පැමිණෙනු බලා සිටීම අපට නුසුදුසු බැවින්,</verse>
				<verse number="15">ඔබේ පියවරුන්ගේ ලේඛනාගාරයේ වාර්තා පොත විභාග කරන පිණිස ඔබ තුමාට දන්වා එවමු. මෙසේ ඔබ වාර්තා පොතෙහි සොයා බැලුවොත්, මේ නගරය කැරලිකාර, රජුටත් රටවලටත් අලාභ හානි කරන නගරයක් බවත්, පෙර සිට ම එහි ද්‍රෝහිකම්වලට තුඩු දීම් සිදු වූ බවත්, එම කාරණය නිසා ඒ නගරය වනසනු ලැබූ බවත් ඔබට දැනගන්නට ලැබෙනු ඇත.</verse>
				<verse number="16">මේ නගරය ගොඩනඟා පවුරු සාදා නිම කරනු ලැබුවොත්, යුප්‍රටීස් ගඟින් මෙගොඩ ඔබට කිසි පෙදෙසක් අයිති නොවන බව අපි ඔබ තුමාට දන්වා සිටිමු.”</verse>
				<verse number="17">එවිට රජතුමා මේ පිළිතුර යැවී ය: “රෙහුම් ආණ්ඩුකාරයාටත්, ෂිම්ෂයි ලේකම්ටත්, සමාරියේ වාසය කරන ඔවුන්ගේ සෙසු සහකාරයන්ටත්, යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින සෙසු අයටත් සෙත් වේ වා!</verse>
				<verse number="18">ඔබ අප වෙත එවූ ලිපිය පරිවර්තනය කර මා ඉදිරියෙහි පැහැදිලි ලෙස කියවන ලද්දේ ය.</verse>
				<verse number="19">මා අණ දුන් පරිදි විභාගයක් ද කරන ලද්දේ ය. ඒ අනුව, මේ නගරය පුරාණ කාලයේ සිට රජවරුන්ට එදිරිවාදිකම් කර ඇති බවත්, එහි කැරලිගැසීම් ද ද්‍රෝහිකම් ද සිදු වී ඇති බවත් පෙනී ගොස් තිබේ.</verse>
				<verse number="20">තවද, යුප්‍රටීස් ගඟින් එගොඩ තිබෙන මුළු රට ආණ්ඩු කළ රජුන් ජෙරුසලමෙහි සිටි බවත්, තීරු බද්ද ද ආදායම් බද්ද ද සුංගම් ද ඔවුන්ට දෙන ලද බවත් දැනගන්නට ලැබී ඇත.</verse>
				<verse number="21">එබැවින් මා විසින් නියෝගයක් පමුණුවන තුරු ඒ නගරය ගොඩනොනඟන පිණිස ඒ මිනිසුන්ගේ වැඩ නවත්වන හැටියට නියෝගයක් කරන්න.</verse>
				<verse number="22">රජුට අලාභ හානි වන විධියේ අනතුරු වැඩි වන්නට ඉඩ නොහරින පිණිස අප්‍රමාද ව මෙය කරන ලෙස වගබලාගන්න.”</verse>
				<verse number="23">අර්තක්ෂස්තා රජුගේ මේ ලිපියේ පිටපත රෙහුම් ද ෂිම්ෂයි ලේකම් ද ඔවුන්ගේ සහකාරයන් ද ඉදිරියෙහි කියෙවූ විගස ම, ඔව්හු ජෙරුසලමෙහි සිටි ජුදෙව්වරුන් වෙත සැණෙකින් ගොස් බලහත්කාරයෙන් ඔවුන්ගේ වැඩ නතර කළහ.</verse>
				<verse number="24">එකල ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩ නැවතුණේ ය; පර්සියාවේ රජ වූ දාරියුස්ගේ රාජ පාලනයේ දෙ වන අවුරුද්ද දක්වා එය නැවතී තිබිණි.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">එකල හග්ගයි සහ ඉද්දෝගේ පුත් ශෙකරියා යන දිවැසිවරු ජුදාහි ද ජෙරුසලමෙහි ද සිටි ජුදෙව්වරුන්ට, ඔවුන් සමඟ වැඩ විසූ ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ නාමයෙන් දිවැස් වැකි පැවසූ හ.</verse>
				<verse number="2">එවිට ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් ද ජෝශාදාක්ගේ පුත් ජෝෂුවා ද ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන්නට පටන්ගත්හ; ඔවුන් සමඟ දෙවියන් වහන්සේගේ දිවැසිවරු ද ඔවුන්ට උපකාර කරමින් සිටියෝ ය.</verse>
				<verse number="3">ඒ කාලයේ දී යුප්‍රටීස් ගඟින් එගොඩ සිටි තත්තෙනයි නම් දිශාධිපතියා ද ෂෙතර්-බෝසෙනයි ද ඔවුන්ගේ සහකාරයෝ ද ඔවුන් වෙත අවුත්, කතා කොට, “මේ මාලිගාව ගොඩනැඟීමට, ප්‍රතිසංස්කරණය කිරීමට ඔබට නියෝග කෙළේ කවරෙක් දැ”යි ඔවුන්ගෙන් ඇසූ හ.</verse>
				<verse number="4">තවදුරටත් ඔව්හු ප්‍රශ්න කරමින්, “මේ මාලිගාව ගොඩනඟන මිනිසුන්ගේ නම් කවරේ දැ”යි ඇසූ හ.</verse>
				<verse number="5">එහෙත්, ජුදෙව්වරුන්ගේ දෙවියන් වහන්සේගේ ආරක්ෂා බැල්ම ඔවුන්ගේ ප්‍රජා මූලිකයන් කෙරෙහි වූ බැවින් දාරියුස්ට මේ සම්බන්ධයෙන් දන්වා යවා, ලියුමකින් පිළිතුරු ලැබෙන තුරු ඔව්හු ඔවුන්ගේ වැඩ නතර නොකළහ.</verse>
				<verse number="6">යුප්‍රටීස් ගඟින් එගොඩ සිටි දිශාධිපති තැන වූ තත්තෙනයි ද ෂෙතර්-බෝසෙනයි ද යුප්‍රටීස් ගඟින් එගොඩ සිටි පර්සියානු නිලධාරීන් වූ ඔහුගේ සහකාරයන් ද විසින් දාරියුස් රජුට යැවුණු ලිපියේ පිටපත මතු දැක්වේ.</verse>
				<verse number="7">ඔවුන් යැවූ රපෝර්තුවේ මෙසේ ලියා තිබිණි: “දාරියුස් රජු හට සව් සෙත් වේ වා!</verse>
				<verse number="8">අප ජුදා රටේ තිබෙන, උතුම් දෙවියන් වහන්සේගේ මාලිගාවට ගිය බව රජතුමාට දැන්විය යුතු ව තිබේ. එය ලොකු ගල්වලින් ගොඩනඟාගෙන යනු ලැබේ. බිත්තිවලට ලී බාල්ක යොදා තිබේ. ඒ වැඩකටයුතු උනන්දුවෙන් හොඳින් කෙරීගෙන යයි.</verse>
				<verse number="9">අපි ද එහි ප්‍රජා මූලිකයන්ගෙන් ප්‍රශ්න කරමින්, ‘මේ මාලිගාව ගොඩනඟන්නත්, එයට ගෘහ භාණ්ඩ සැපයීමටත් ඔබට නියෝගයක් කෙළේ කවරෙක් දැ’යි ඔවුන්ගෙන් ඇසීමු.</verse>
				<verse number="10">තවද, ඔවුන්ට මූලික ව ක්‍රියා කරන මිනිසුන්ගේ නම් ලියාගෙන ඔබට දන්වනු පිණිස, ‘ඔවුන්ගේ නම් කවරේ දැ’යි ඔවුන්ගෙන් ඇසීමු.</verse>
				<verse number="11">ඔව්හු පිළිතුරු දෙමින්, ‘අපි ස්වර්ගයේත්, පොළොවේත් දෙවියන් වහන්සේගේ මෙහෙකරුවෝ වම්හ. මීට බොහෝ අවුරුදු ගණනකට පෙර ගොඩනඟන ලද, ඉශ්රායෙල්හි උතුම් රජෙකු විසින් ගොඩනඟා නිම කරන ලද මාලිගාව අපි නැවත ගොඩනඟමු.</verse>
				<verse number="12">එහෙත්, අපේ පියවරුන් විසින් ස්වර්ගයේ දෙවියන් වහන්සේ උදහස් කරනු ලැබූ බැවින් උන් වහන්සේ කල්දිය වූ බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් අතට ඔවුන් පාවා දුන් සේක. ඔහු ද මේ මාලිගාව විනාශ කොට සෙනඟ බබිලෝනියට ගෙන ගියේ ය.</verse>
				<verse number="13">එහෙත්, බබිලෝනියේ රජු වූ සයිරස්ගේ පළමු වන අවුරුද්දේ දී, දෙවියන් වහන්සේගේ මේ මාලිගාව ගොඩනඟන්නට සයිරස් රජ නියෝගයක් කෙළේ ය.</verse>
				<verse number="14">තවද, නෙබුකද්නෙශර් රජු ජෙරුසලමෙහි තිබුණු මාලිගාවෙන් ගෙන ගොස්, බබිලෝනියේ දේවාලයේ තැබූ දෙවියන් වහන්සේගේ මාලිගාවේ රන් රිදී භාණ්ඩ, සයිරස් රජ බබිලෝනියේ දේවාලයෙන් රැගෙන, තමා දිශාධිපතියා වශයෙන් පත් කළ ෂෙෂ්බශර් යන නාමය ඇති තැනැත්තාට භාර දුන්නේ ය.</verse>
				<verse number="15">ඔහු කතා කොට, ‘මේ භාණ්ඩ ගෙන ගොස් ජෙරුසලමෙහි තිබෙන මාලිගාවේ තබන්න; දෙවියන් වහන්සේගේ මාලිගාව ද කලින් තිබූ ස්ථානයෙහි ගොඩනඟනු ලබාවා’යි ද කීවේ ය.</verse>
				<verse number="16">එවිට එම ෂෙෂ්බශර් අවුත් ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම දැමුවේ ය. එතැන් පටන් මේ දක්වා එය ගොඩනඟාගෙන යන නමුත් තව ම එය නිමකර නැතැ’යි අපට කීවෝ ය.</verse>
				<verse number="17">ඒ නිසා රජුට යහපතැ යි පෙනේ නම්, ජෙරුසලමෙහි දෙවියන් වහන්සේගේ මේ මාලිගාව ගොඩනඟන්නට සයිරස් රජු විසින් නියෝගයක් කරන ලද්දේ දැ යි බබිලෝනියේ තිබෙන රජුන්ගේ භාණ්ඩාගාරයෙහි සොයා බලන්න සලස්වා, මේ කාරණය ගැන රජතුමාගේ කැමැත්ත අපට දන්වා එවුව මැනව.”</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">එකල දාරියුස් රජු කළ නියෝගයක් අනුව බබිලෝනියෙහි ලේඛනාගාරයේ ගබඩාවල තැන්පත් කරන ලද පොත් සොයා බලන ලදී.</verse>
				<verse number="2">එවිට මේදියා ජනපදයේ තිබෙන එක්බතානා බලකොටුවෙහි වාර්තා පොතක් සම්භ විය. එහි මෙසේ කියා තිබිණි:</verse>
				<verse number="3">“සයිරස් රජුගේ පළමු වන අවුරුද්දේ දී සයිරස් රජ ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව ගැන මෙසේ නියෝගයක් කෙළේ ය: ‘ඒ මාලිගාව පූජා ඔප්පු කරන ස්ථානයක් වශයෙන් ගොඩනඟනු ලැබේවා. එහි අත්තිවාරම් සවි කොට පිහිටුවනු ලැබේවා. එහි උස මීටර් විසිහතක් ද පළල මීටර් විසිහතක් ද විය යුතු ය.</verse>
				<verse number="4">මහා ගල් පේළි තුනකුත්, අලුත් ලී පේළියකුත් ඇති ව එය සාදනු ලැබේවා. වියදම ද රාජ භාණ්ඩාගාරයෙන් ගෙවනු ලැබේවා.</verse>
				<verse number="5">තවද, නෙබුකද්නෙශර් විසින් ජෙරුසලමෙහි තිබෙන මාලිගාවෙන් රැගෙන, බබිලෝනියට ගෙනෙන ලද දෙවියන් වහන්සේගේ මාලිගාවේ රන් රිදී භාණ්ඩ ආපසු දෙනු ලැබ, ජෙරුසලමෙහි තිබෙන මාලිගාවේ නියම තැන්වල තැබීමට ගෙනයනු ලබාවා. ඒවා දෙවියන් වහන්සේගේ මාලිගාවේ තැබිය යුතු ය.’ “</verse>
				<verse number="6">දාරියුස් රජ මේ නියෝගය නිකුත් කෙළේ ය: “මේ නිසා යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින දිශාධිපති තැන වන තත්තෙනයි ද ෂෙතර්-බෝසෙනයි ද යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින පර්සියාවේ නිලධාරීන් ද ඔබේ සහකාරයන් ද යන ඔබ හැම දෙන ම එතැනින් ඈත් ව සිටින්න.</verse>
				<verse number="7">“දෙවියන් වහන්සේගේ මේ මාලිගාවේ වැඩ කරගෙන යන පිණිස ජුදෙව්වරුන්ගේ දිශාධිපතියාට ද ජුදෙව්වරුන්ගේ ප්‍රජා මූලිකයන්ට ද ඉඩ හරින්න. දෙවියන් වහන්සේගේ මේ මාලිගාව කලින් තිබුණු ස්ථානයෙහි ඔව්හු ගොඩනඟත් වා.</verse>
				<verse number="8">ඇරත් දෙවියන් වහන්සේගේ මේ මාලිගාව ගොඩනැඟීම පිණිස ඔබ ජුදෙව්වරුන්ගේ ඒ ප්‍රජා මූලිකයන්ට කළ යුතු දේ ගැන මම මෙසේ නියෝගයක් කරමි: වැඩට අවහිරයක් නොවන පිණිස රාජ භාණ්ඩාගාරයේ දෙයින් එනම්, යුප්‍රටීස් ගඟින් එගොඩ පෙදෙසින් ලැබෙන බදු ආදායමෙන් නොපමා ව මුළු වියදම දිය යුතු ය.</verse>
				<verse number="9">ඔවුන්ට ඕනෑ කරන දේ එනම්, ජෙරුසලමෙහි සිටින පූජකයන්ගේ නියමය ප්‍රකාර ස්වර්ගයේ දෙවියන් වහන්සේට දවන යාග පූජා ඔප්පු කිරීමට ගොන් වස්සන් ද බැටළුවන් ද බැටළු පැටවුන් ද තිරිඟු ද ලුණු ද මුද්‍රික පානය ද තෙල් ද දවස් පතා නොවරදවා ඔවුන්ට සැපයිය යුතු ය.</verse>
				<verse number="10">එසේ කළ යුත්තේ, ඔවුන් ස්වර්ගයේ දෙවියන් වහන්සේට මිහිරි සුවඳ ඔප්පු කර රජුගේ ද ඔහුගේ පුත්‍රයන්ගේ ද ශුභසිද්ධිය උදෙසා යාච්ඤා කරන පිණිස ය.</verse>
				<verse number="11">තවද, යමෙකු මේ ආඥාව කඩ කළොත්, ඔහුගේ ගෙයින් බාල්කයක් ගලවාගෙන, ඔහු එහි මත උල තැබිය යුතු ය. ඒ හැර මේ අපරාධය නිසා ඔහුගේ ගෙය ද කසළ ගොඩක් කළ යුතු ය.</verse>
				<verse number="12">මෙය වෙනස් කර ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මේ මාලිගාව විනාශ කරන්නට තමන්ගේ අත පොවන සියලු රජුන් හෝ ජාතීන් හෝ ස්වකීය නාමය එහි පිහිටෙවුවා වූ දෙවියන් වහන්සේ විනාශ කරන සේක් වා!”</verse>
				<verse number="13">එවිට යුප්‍රටීස් ගඟින් මෙගොඩ සිටි දිශාධිපති තැන වූ තත්තෙනයි ද ෂෙතර්-බෝසෙනයි ද ඔවුන්ගේ සහකාරයෝ ද දාරියුස් රජු විසින් කරන ලද නියමයන් අකුරට ම ඉටු කළෝ ය.</verse>
				<verse number="14">ජුදෙව්වරුන්ගේ ප්‍රජා මූලිකයෝ ද දිවැසිවර හග්ගයිගේත්, ඉද්දෝගේ පුත් ශෙකරියාගේත් දිවැස් වැකියෙන් උනන්දු වී දේව මාලිගාව ගොඩනැඟීම සාර්ථක ලෙස කරගෙන ගියහ. ඔව්හු ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේගේ ආඥාවේ හැටියටත්, සයිරස්ගේ ද දාරියුස්ගේ ද පර්සියාවේ රජ වූ අර්තක්ෂස්තාගේ ද නියෝගයේ හැටියටත් මාලිගාව ගොඩනඟා නිම කළෝ ය.</verse>
				<verse number="15">දාරියුස් රජුගේ රාජ්‍ය කාලයේ හය වන අවුරුද්දේ අදාර් මාසයේ තුන් වන දින මේ මාලිගාව සාදා නිම කරන ලදී.</verse>
				<verse number="16">ඉශ්රායෙල් සෙනඟ වන පූජකවරු ද ලෙවීවරු ද විප්‍රවාසයෙන් මිදී පැමිණි සෙසු අය ද දෙවියන් වහන්සේගේ මාලිගාව කැප කිරීමේ උත්සවය මහා හරසරින් පැවැත්වූ හ.</verse>
				<verse number="17">තවද, ඔව්හු දෙවියන් වහන්සේගේ මාලිගාව කැප කිරීමේ දී ගොනුන් සියයක් ද බැටළුවන් දෙසියයක් ද බැටළු පැටවුන් හාරසියයක් ද ඉශ්රායෙල්වරුන්ගේ ගෝත්‍රවල ගණන ලෙස සියලු ඉශ්රායෙල්වරුන් උදෙසා පාප පූජාවක් වශයෙන් එළුවන් දොළොස් දෙනෙකු ද ඔප්පු කළෝ ය.</verse>
				<verse number="18">මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ නියම කර තිබෙන ප්‍රකාරයට ඔව්හු තමන්ගේ පූජකයන් ඔවුන්ගේ කොට්ඨාශවල හැටියටත්, ලෙවීවරුන් ඔවුන්ගේ පංතිවල හැටියටත් ජෙරුසලමෙහි දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවය පිණිස පත් කළෝ ය.</verse>
				<verse number="19">විප්‍රවාසයෙන් මිදී ආ අය පළමු වන මාසයේ දහහතර වන දින පාස්කු මංගල්‍යය පැවැත්වූ හ.</verse>
				<verse number="20">පූජකවරු ද ලෙවීවරු ද එක් කෙනෙකු වත් නෑර සියලු දෙන ම පිරිසිදු වී සිටියෝ ය. ඔව්හු සියල්ලෝ පිරිසිදු ව සිට විප්‍රවාසයෙන් මිදී ආ සියල්ලන් උදෙසා ද, පූජකයන් වූ තමන්ගේ සහෝදරයන් උදෙසා ද තමන් ම උදෙසා ද පාස්කු මංගල්‍යය සඳහා බැටළු පැටවුන් මැරූ හ.</verse>
				<verse number="21">එසේ විප්‍රවාසයෙන් හැරී ආ ඉශ්රායෙල් සෙනඟත්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ සොයන පිණිස අවට ජාතීන්ගේ අපිරිසිදුකමෙන් වෙන් වී ඉශ්රායෙල්වරුන්ට එකතු වූ සියල්ලෝත් පාස්කුව වැළඳූ හ.</verse>
				<verse number="22">ඔව්හු මුහුන් නොදැමූ රොටි මංගල්‍යය සත් දවසක් හරසරින් පැවැත්වූ හ. මන්ද, දෙවියන් වහන්සේගේ එනම්, ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩට ඔවුන් දිරි ගන්වන අසිරියාවේ රජුගේ සිත ඔවුන්ට ප්‍රියමනාප වන ලෙස වෙනස් කිරීමෙන් සමිඳාණන් වහන්සේ ඔවුන් ප්‍රීතියෙන් පිනවූ සේක.</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">මේ සිද්ධිවලින් පසු, පර්සියාවේ අර්තක්ෂස්තාගේ රාජ්‍ය කාලයේ දී එස්රා නම් මිනිසෙක් සිටියේ ය. එස්රා සොරායාගේ පුත්‍රයා ය; ඔහු අශරියාගේ පුත්‍රයා ය; ඔහු හිල්කියාගේ පුත්‍රයා ය.</verse>
				<verse number="2">ඔහු ෂල්ලුම්ගේ පුත්‍රයා ය; ඔහු ශාදොක්ගේ පුත්‍රයා ය; ඔහු අහිටුබ්ගේ පුත්‍රයා ය.</verse>
				<verse number="3">ඔහු අමරියාගේ පුත්‍රයා ය; ඔහු අසරියාගේ පුත්‍රයා ය; ඔහු මෙරායොත්ගේ පුත්‍රයා ය.</verse>
				<verse number="4">ඔහු සෙරහියාගේ පුත්‍රයා ය; ඔහු උශ්ශීගේ පුත්‍රයා ය; ඔහු බුක්කීගේ පුත්‍රයා ය.</verse>
				<verse number="5">ඔහු අබිෂුවාගේ පුත්‍රයා ය; ඔහු පිනෙහාස්ගේ පුත්‍රයා ය; ඔහු එලෙයාසර්ගේ පුත්‍රයා ය; ඔහු උත්තම පූජක ආරොන්ගේ පුත්‍රයා ය.</verse>
				<verse number="6">මේ එස්රා බබිලෝනියේ සිට පැමිණි කෙනෙකි. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ විසින් දෙන ලද මෝසෙස්ගේ ව්‍යවස්ථාව ගැන මනා දැනීමක් ඇති නීතිවේදියෙකි. ඔහු කෙරෙහි ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේගේ අනුග්‍රහය තිබුණු බැවින් ඔහු ඉල්ලූ සියල්ල රජතුමා ඔහුට දුන්නේ ය.</verse>
				<verse number="7">තවද, අර්තක්ෂස්තා රජුගේ සත් වන අවුරුද්දේ දී ඉශ්රායෙල් සෙනඟගෙන් ද පූජකයන්ගෙන් ද ලෙවීවරුන්ගෙන් ද ගායනාකාරයන්ගෙන් ද දොරටු පාලකයන්ගෙන් ද දේව මාලිගාවේ සේවකයන්ගෙන් ද සමහර දෙනෙක් ජෙරුසලමට පැමිණියෝ ය.</verse>
				<verse number="8">එස්රා, රජුගේ සත් වන අවුරුද්දේ පස් වන මාසයේ දී ජෙරුසලමට ආවේ ය.</verse>
				<verse number="9">ඔහු පළමු වන මාසයේ පළමු වන දා බබිලෝනියෙන් පිටත් වන්න තීරණය කරගෙන තිබුණේ ය. ඔහුගේ දෙවියන් වහන්සේගේ කරුණානුග්‍රහය ඔහු සමඟ සැබැවින් ම තිබුණේ ය. පස් වන මාසයේ පළමු වන දා ඔහු ජෙරුසලමට පැමිණියේ ය.</verse>
				<verse number="10">එස්රා සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව හදාරන්නත් එය පිළිපදින්නත්, එහි ඇති අණපණත් ඉශ්රායෙල් සෙනඟට උගන්වන්නත් ඇප කැප වී සිටියේ ය.</verse>
				<verse number="11">ඉශ්රායෙල්වරුන් සම්බන්ධයෙන් පනවන ලද සමිඳාණන් වහන්සේගේ අණපණත් පිළිබඳ ව විශේෂ දැනුමක් තිබුණු පූජකයෙකු ද නීතිවේදියෙකු ද වූ එස්රාට අර්තක්ෂස්තා රජු විසින් දෙන ලද හසුනේ පිටපත මෙසේ ය:</verse>
				<verse number="12">“රාජාධිරාජ අර්තක්ෂස්තා වන මම ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවේ නීතිවේදියෙකු ව සිටින පූජක එස්රා වෙත ලියා එවමි.</verse>
				<verse number="13">මාගේ රාජ්‍යයේ සිටින ඉශ්රායෙල් සෙනඟගෙන් ද ඔවුන්ගේ පූජකයන්ගෙන් ද ලෙවීවරුන්ගෙන් ද සිය කැමැත්තෙන් ජෙරුසලමට යන්න කැමැති සියල්ලන්ට ඔබ සමඟ යන්න අවසර ඇත කියා මම නියෝගයක් කරමි.</verse>
				<verse number="14">ඔබේ භාරයේ ඇති ඔබේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව අනුව ජුදා හා ජෙරුසලම ගැන කරුණු විභාග කරන පිණිස, රජු සහ ඔහුගේ මන්ත්‍රීන් සත්දෙනා විසින් ඔබ යවනු ලැබ ඇත.</verse>
				<verse number="15">රජු සහ ඔහුගේ මන්ත්‍රීන් විසින් ජෙරුසලමෙහි වැඩ වසන ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට සිය කැමැත්තෙන් පුදන ලද රන් රිදී ඔබ ගෙන යා යුතු ය.</verse>
				<verse number="16">ඒ සමඟ මුළු බබිලෝනි ප්‍රදේශයේ ඔබට සොයා ගත හැකි රන් රිදී සියල්ල ද ජෙරුසලමෙහි ඇති, තමන්ගේ දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා සෙනඟ සහ පූජකයන් සිය කැමැත්තෙන් දෙන පඬුරු ද ඔබ ගෙන යා යුතු ය.</verse>
				<verse number="17">එබැවින් මේ මුදල වැය කළ යුත්තේ, ගොනුන් ද බැටළුවන් ද බැටළු පැටවුන් ද ඒ සමඟ ඕනෑ කරන ආහාර පූජා සහ පානීය පූජා ද ගැනීමට පමණකි. ජෙරුසලමෙහි තිබෙන, ඔබේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ පූජාසනය පිට ඒවා ඔප්පු කරන්න.</verse>
				<verse number="18">ඉතිරි වන රන් රිදීවලින් ඔබටත්, ඔබේ සහෝදරයන්ටත් කරන්න සුදුසු යයි පෙනෙන දෙයක් ඔබේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස කරන්න.</verse>
				<verse number="19">තවද, ඔබේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස ඔබට දෙන ලද භාණ්ඩ ජෙරුසලමේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි බාර දෙන්න.</verse>
				<verse number="20">ඔබේ දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා දෙන්නට ඔබට වුවමනා තවත් දේවල් රජුගේ භාණ්ඩාගාරයෙන් රැගෙන දෙන්න.</verse>
				<verse number="21">“තවද, අර්තක්ෂස්තා රජු වන මම, ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව පිළිබඳ නීතිවේදියා වන පූජක එස්රා විසින් ඔබෙන් ඉල්ලනු ලබන සියල්ල සැණෙකින් දෙන්න යුප්‍රටීස් ගඟෙන් එගොඩ සිටින සියලු භාණ්ඩාගාරිකයන්ට නියෝග කරමි.</verse>
				<verse number="22">රිදී කිලෝග්‍රෑම් දෙදහස් අටසියයක් වන තෙක් ද තිරිඟු කිලෝග්‍රෑම් දහතුන්දහස් පන්සියයක් වන තෙක් ද මුද්‍රික පාන ලීටර් දෙදහසක් වන තෙක් ද තෙල් ලීටර් දෙදහසක් වන තෙක් ද ලුණු ඇති තරම් ද දිය යුතු ය.</verse>
				<verse number="23">ස්වර්ගයේ දෙවියන් වහන්සේ විසින් අණ කරනු ලැබ තිබෙන සියල්ල, ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා හරියාකාර කරනු ලැබේවා. එසේ නොකළොත් රජුගේත්, ඔහුගේ පුත්‍රයන්ගේත් රාජ්‍යය කෙරෙහි උදහස පැමිණෙන්නට ඉඩ තිබේ.</verse>
				<verse number="24">තවද, පූජකයන්, ලෙවීවරුන්, ගායනාකාරයන්, දොරටු පාලකයන්, දේව මාලිගාවේ සේවකයන් හා දෙවියන් වහන්සේගේ මේ මාලිගාවේ සෙසු සේවකයන් යන කිසිවෙකුගෙන් තීරු බද්ද ද ආදායම් ද සුංගම් ද අය කරන්න තහනම් බව අපි ඔබට දැනුම් දෙමු.</verse>
				<verse number="25">“එස්රා, ඔබ යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින සියලු සෙනඟ විනිශ්චය කරන පිණිස, ඔබේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව දන්න විනිශ්චයකාරයන් ද නඩුකාරයන් ද ඔබට ප්‍රදානය කොට ඇති ඔබේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ලෙස පත් කරගන්න; නොදන්න අයට එය උගන්වන්න.</verse>
				<verse number="26">ඔබේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව ද රාජ ආඥාව ද නොපවත්වන සියල්ලන්ට මරණයෙන් හෝ රටින් පිටමං කිරීමෙන් හෝ දේපළ රාජසන්තක කිරීමෙන් හෝ හිර අඩස්සි කිරීමෙන් හෝ වහාම යුක්තිය ඉටු කරනු ලැබේ වා!”</verse>
				<verse number="27">එවිට එස්රා මෙසේ කීවේ ය: “ජෙරුසලමෙහි තිබෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාව අලංකාර කරන්නට රජුගේ සිතෙහි කැමැත්තක් ඇති කළා වූ ද රජු ද උපදේශකයන් ද රජුගේ සියලු බලවත් අධිපතීන් ද ඉදිරියෙහි මට කරුණාව ලැබීමට සැලසුවා වූ ද අපේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! එබැවින් මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ හස්තය මා පිට තිබෙන බව දැනගෙන, මා ධෛර්යවත් වී මා සමඟ යන පිණිස, ඉශ්රායෙල්වරුන් අතරෙන් ප්‍රධානීන් මම රැස් කරගතිමි.”</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">“අර්තක්ෂස්තා රජුගේ රාජ්‍යය කාලයේ දී මා සමඟ බබිලෝනියේ සිට පැමිණි අයගේ පවුල්වල ප්‍රධානීහු මොවුහු ය. ඔවුන්ගේ පෙළපත් ලේඛන මෙසේ ය:</verse>
				<verse number="2">පිනෙහාස්ගේ පුත්‍රයන්ගෙන් ගේර්ෂොම් ය; ඊතාමාර්ගේ පුත්‍රයන්ගෙන් දානියෙල් ය; දාවිත්ගේ පුත්‍රයන්ගෙන් හට්ටුෂ් ය;</verse>
				<verse number="3">පරොෂ්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ ෂෙකනියාගේ පුත්‍රයන්ගෙන් ශෙකරියා ය; ඔහු සමඟ පෙළපත් වශයෙන් පිරිමි එකසිය පණසක් ලියාපදිංචි කරනු ලැබූ හ.</verse>
				<verse number="4">පාහත්-මෝවබ්ගේ පුත්‍රයන්ගෙන් ශෙරහියාගේ පුත් එලියෙහෝනයි සහ ඔහු සමඟ පිරිමි දෙසියයක් ය;</verse>
				<verse number="5">ෂෙකනියාගේ පුත්‍රයන්ගෙන් ජහසීයෙල්ගේ පුත්‍රයා සහ ඔහු සමඟ පිරිමි තුන්සියයක් ය;</verse>
				<verse number="6">ආදින්ගේ පුත්‍රයන්ගෙන් ජොනතන්ගේ පුත් ඒබෙද් සහ ඔහු සමඟ පිරිමි පණසක් ය;</verse>
				<verse number="7">ඒලාම්ගේ පුත්‍රයන්ගෙන් අතලියාගේ පුත් ජෙෂායා සහ ඔහු සමඟ පිරිමි හැත්තෑවක් ය;</verse>
				<verse number="8">ෂෙපටියාගේ පුත්‍රයන්ගෙන් මිකායෙල්ගේ පුත් සෙබදියා සහ ඔහු සමඟ පිරිමි අසූවක් ය;</verse>
				<verse number="9">ජෝවාබ්ගේ පුත්‍රයන්ගෙන් ජෙහියෙල්ගේ පුත් ඔබදියා සහ ඔහු සමඟ පිරිමි දෙසිය දහඅටදෙනෙක් ය;</verse>
				<verse number="10">ෂෙලොමීත්ගේ පුත්‍රයන්ගෙන් ජෝසිපියාගේ පුත්‍රයා සහ ඔහු සමඟ පිරිමි එකසිය හැටක් ය.</verse>
				<verse number="11">බේබයිගේ පුත්‍රයන්ගෙන් බේබයිගේ පුත් ශෙකරියා සහ ඔහු සමඟ පිරිමි විසිඅටදෙනෙක් ය.</verse>
				<verse number="12">අස්ගාද්ගේ පුත්‍රයන්ගෙන් හක්කාටාන්ගේ පුත් ජෝහානාන් සහ ඔහු සමඟ පිරිමි එකසිය දහදෙනෙක් ය.</verse>
				<verse number="13">අදොනිකාම්ගේ පුත්‍රයන්ගෙන් අන්තිමයන් වූ එලිපෙලෙත් ද ජෙවූයෙල් ද ෂෙමායා ද යන නම් සඳහන් අය සහ ඔවුන් සමඟ පිරිමි හැටක් ය.</verse>
				<verse number="14">බිග්වායිගේ පුත්‍රයන්ගෙන් ඌතයි සහ සබ්බුද් ය; ඔවුන් සමඟ පිරිමි හැත්තෑවක් ය.”</verse>
				<verse number="15">“අහවා නගරයට ගලා යන ගංගාව ළඟ මම ඔවුන් රැස් කෙළෙමි. අපි එහි තුන් දවසක් කූඩාරම් ගසාගෙන සිටියෙමු. සෙනඟ ද පූජකයන් ද දෙස බැලූ විට ඔවුන් අතර ලෙවීවරුන්ගෙන් කිසිවෙකු නැති බව මම දිටිමි.</verse>
				<verse number="16">එවිට මම එලියේසර් ද අරියෙල් ද ෂෙමායා ද එල්නාතාන් ද ජාරිබ් ද එල්නාතාන් ද නාතාන් ද ශෙකරියා ද මෙෂුල්ලාම් ද යන ප්‍රධානීන් සහ ජෝයාරිබ් ද එල්නාතාන් ද යන බුද්ධිමතුන් ද කැඳවාගෙන,</verse>
				<verse number="17">කාසිපියා යන ස්ථානයේ සිටි ප්‍රධානියා වූ ඉද්දෝ වෙත ඔවුන් යැවීමි. දෙවියන් වහන්සේගේ මාලිගාවට සේවකයන් අප වෙත සපයා දෙන ලෙස ඉද්දෝටත්, කාසිපියා යන ස්ථානයෙහි සිටි ඔහුගේ ඥාතීන් වන දේව මාලිගාවේ සේවකයන්ටත් කිය යුතු දේ මම ඔවුන්ට කීමි.</verse>
				<verse number="18">ඔව්හු ද අප කෙරෙහි පිහිටි දේව වරප්‍රසාදය හේතුකොටගෙන ඉශ්රායෙල්ගේ පුත්‍රයා වන ලෙවීගේ පුත් මාලීගේ පුත්‍රයන්ගෙන් බුද්ධිමත් මිනිසෙකු වූ ෂේරෙබියා ද ඔහුගේ පුත්‍රයින් හා ඥාතීන් දහඅටදෙනෙකු ද අප වෙත එවූ හ.</verse>
				<verse number="19">ඒ හැර හෂබියා ද ඔහු සමඟ මෙරාරීගේ පුත්‍රයන්ගෙන් ජෙෂායා ද ඔහුගේ සහෝදරයෝ ද ඔවුන්ගේ පුත්‍රයන් විසිදෙනෙක් ද එවන ලදහ.</verse>
				<verse number="20">තවද, ලෙවීවරුන්ගේ මෙහෙයට ද දාවිත් සහ අධිපතීන් විසින් නියම කරන ලද දේව මාලිගාවේ සේවකයන්ගෙන් දෙසිය විසි දෙනෙක් අප වෙත එවන ලදහ. ඔවුන් සියල්ලෝ ලියාපදිංචි කරන ලදහ.”</verse>
				<verse number="21">“එවිට අපේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි අප යටහත් පහත් වී, අපට සුබ ගමනක් සලසා දී, අප ද අපේ දරුදැරියන් ද අපේ සම්පත ද ආරක්ෂා කරන හැටියට උන් වහන්සේගෙන් ඉල්ලන පිණිස එහි අහවා ගංගාව ළඟ දී මම උපවාසයක් ප්‍රසිද්ධ කෙළෙමි.</verse>
				<verse number="22">මා එසේ කෙළේ, ‘අපේ දෙවියන් වහන්සේගේ ආශීර්වාද දායක හස්තය උන් වහන්සේ සොයන සියල්ලන් කෙරෙහි පවතින්නේ ය’ කියා ද ‘උන් වහන්සේගේ බලවත් උදහස උන් වහන්සේ අත්හරින සියල්ලන්ට විරුද්ධ ව පවතින්නේ ය’ කියා ද අප රජුට කියා තිබූ නිසා, ගමන් මාර්ගයේ දී අප සතුරන්ගෙන් ආරක්ෂා කරන පිණිස හේවා හමුදාවක් ද අසරුවන් ද රජුගෙන් ඉල්ලන්නට ලජ්ජා වූ බැවිනි.</verse>
				<verse number="23">ඒ නිසා අපි නිරාහාර ව සිට මේ ගැන අපේ දෙවියන් වහන්සේට යාච්ඤා කෙළෙමු. උන් වහන්සේ ද අපේ අයැදීමට පිළිතුරු දුන් සේක.”</verse>
				<verse number="24">“ඉන්පසු ප්‍රධාන පූජකයන්ගෙන් දොළොස්දෙනෙකු එනම්, ෂෙරෙබියා ද හෂබියා ද ඔවුන් සමඟ ඔවුන්ගේ ඥාතීන්ගෙන් දසදෙනෙකු ද තෝරා ගෙන,</verse>
				<verse number="25">රජු ද ඔහුගේ උපදේශකයන් ද අධිපතීන් ද එහි සිටි සියලු ඉශ්රායෙල්වරුන් ද විසින් අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා දෙන ලද පඬුරු වන රිදී ද රන් ද භාණ්ඩ ද කිරා ඔවුන්ට භාර දිනිමි.</verse>
				<verse number="26">රිදී මෙට්රික් ටොන් විසිදෙකකුත්, කිලෝග්‍රෑම් හැත්තෑවක් බර ඇති රිදී භාණ්ඩ සියයකුත්, රන් කිලෝග්‍රෑම් තුන්දහස් හාරසියයකුත්,</verse>
				<verse number="27">කිලෝග්‍රෑම් අටයි දශම හතරක් බර ඇති රන් තලි විස්සකුත්, රන් මෙන් අනර්ඝ වූ හොඳ දීප්තිමත් ලෝකඩ භාජන දෙකකුත් කිරා ඔවුන් අතට දිනිමි.</verse>
				<verse number="28">මම ඔවුන්ට කතා කොට, ‘ඔබ හැම සමිඳාණන් වහන්සේට කැප වූ අය ය; භාණ්ඩ ද කැප ය; මේ රන් රිදී ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ඔප්පු කරන ලද ස්වේච්ඡා පූජා ය.</verse>
				<verse number="29">ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ ගෘහයේ ඇතුළු ගෙවල්වල දී ප්‍රධාන පූජකයන් සහ ලෙවීවරුන් ද ඉශ්රායෙල් පිය වංශවල අධිපතීන් ද ඉදිරිපිට දී ඒවා කිරන තුරු, ඒවා මුර කරමින් ප්‍රවේසම් කරගන්නැ’යි කීමි.</verse>
				<verse number="30">මෙසේ පූජකයෝත්, ලෙවීවරුත් කිරන ලද ඒ රිදී ද රන් ද භාණ්ඩ ද ජෙරුසලමේ අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන පිණිස භාරගත්හ.”</verse>
				<verse number="31">“ඉක්බිති අපි පළමු වන මාසයේ දොළොස් වන දා ජෙරුසලමට යන පිණිස අහවා ගඟ ළඟ සිට පිටත් වුණෙමු. අපේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය අප කෙරෙහි විය. උන් වහන්සේ සතුරන්ගේ අතිනුත්, මංකොල්ලකාරයන්ගෙනුත් අප ගැළවූ සේක.</verse>
				<verse number="32">අපි ජෙරුසලමට පැමිණ තුන් දිනක් එහි නැවතී සිටියෙමු.</verse>
				<verse number="33">සතර වන දා ඒ රිදී ද රන් ද භාජන ද පූජක උරියාගේ පුත් මෙරේමොත් අතට අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව තුළ දී කිරා දෙන ලද්දේ ය.</verse>
				<verse number="34">ඒ සියල්ල ගණන් කරනු ලැබී ය. ඒවායේ මුළු බර ලියා සටහන් කරන ලදී. ඔහු සමඟ පිනෙහාස්ගේ පුත් එලෙයාසර් සිටියේ ය. ඔවුන් සමඟ ජේෂුවාගේ පුත් ජෝසාබාද් ද බින්නුයිගේ පුත් නොවදියා ද යන ලෙවීවරුත් සිටියෝ ය.</verse>
				<verse number="35">ඒ අවස්ථාවේ දී, විප්‍රවාසයෙන් මිදී ආපසු පැමිණි අය ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට දවන යාග පූජා පිණිස සියලු ඉශ්රායෙල්වරුන් උදෙසා ගොනුන් දොළොස්දෙනෙකු ද බැටළුවන් අනූහයදෙනෙකු ද බැටළු පැටවුන් හැත්තෑහත්දෙනෙකු ද පාප පූජාවක් පිණිස එළුවන් දොළොස්දෙනෙකු ද ඔප්පු කළෝ ය. ඒ සියල්ල සමිඳාණන් වහන්සේට ඔප්පු කළ මහා දවන පූජාවක් විය.</verse>
				<verse number="36">තවද, ඔව්හු රජුගේ ආඥා යුප්‍රටීස් ගඟින් එගොඩ සිටි රජුගේ දිශාධිපතීන්ටත්, ආණ්ඩුකාරයන්ටත් භාර දුන්නෝ ය. එවිට ඔව්හු සෙනඟටත්, දෙවියන් වහන්සේගේ මාලිගාවටත් සහාය දුන්නෝ ය.”</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">“මේ කටයුතු නිම වූ කල, අධිපතීහු මා ළඟට අවුත් කතා කොට, ‘ඉශ්රායෙල් සෙනඟ ද පූජකයන් හා ලෙවීවරුන් ද විදේශ වැසියන් වන කානානිවරුන්ගේ ද හිත්තීවරුන්ගේ ද පෙරිස්සිවරුන්ගේ ද ජෙබුසිවරුන්ගේ ද අම්මොන්වරුන්ගේ ද මෝවබ්වරුන්ගේ ද මිසරවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද පිළිකුල් ක්‍රියාවලින් වැළකී සිටියේ නැත.</verse>
				<verse number="2">ඔවුන් තමන්ටත්, තම පුත්‍රයන්ටත් මේ විදේශීය කාන්තාවන් සරණ පාවාගෙන ඇත. මෙසේ ශුද්ධ ජාතිය විදේශිකයන් සමඟ මිශ්‍ර වී ඇත. එසේ ය, මේ ද්‍රෝ‍්හිකමට මූලික වූවෝ අධිපතීහු හා නිලධාරීහු ය’යි කීවෝ ය.</verse>
				<verse number="3">මේ පුවත මා ඇසූ විට, මම බලාපොරොත්තු රහිත ව මාගේ වස්ත්‍රයත්, සළුවත් ඉරාගෙන, මාගේ හිසකෙස් ද රැවුල ද උදුරාගෙන, තුෂ්ණීම්භූත ව හිඳගතිමි.</verse>
				<verse number="4">එවිට විප්‍රවාසයෙන් මිදී පැමිණි අයගේ ද්‍රෝ‍්හිකම ගැන ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ කී දෙයින් කම්පා වූ හැම දෙන ම මා ළඟට රැස් වූ හ. මම වනාහි සවස පූජාව ඔප්පු කරන තෙක් තුෂ්ණීම්භූත ව එහි ම උන්නෙමි.”</verse>
				<verse number="5">“සවස පූජාව පවත්වන වේලාව පැමිණි විට, මම මාගේ සිහි නැති භාවයෙන් නැඟිට, ඉරාගත් මාගේ වස්ත්‍රය ද මාගේ සළුව ද ඇති ව දණින් වැටී, මාගේ දෙවි සමිඳාණන් වහන්සේ දෙසට මාගේ අත් විදහාගෙන කතා කොට,</verse>
				<verse number="6">‘මාගේ දෙවියන් වහන්ස, මම ලජ්ජාවට පත් වී, මාගේ දෙවි වන ඔබ දෙසට මාගේ මුහුණ ඔසවන්නට බියෙන් සිටිමි. මන්ද, අපේ ද්‍රෝහිකම අපේ හිස්වලටත් ඉහළින් නැඟී ගොස් ඇත. අපේ පාප ස්වර්ගය දක්වා නැඟී තිබේ.</verse>
				<verse number="7">අපේ පියවරුන්ගේ කාලයේ පටන් අද දක්වා අප අතිශයින් වරදකාරයන් ව සිට, අපේ අපරාධ නිසා, අපි ද අපේ රජවරු ද අපේ පූජකයෝ ද අද දවසේ තිබෙන හැටියට විදේශවල රජවරුන් අතටත්, කඩුවටත්, වහල් කමටත්, කොල්ලකෑමටත්, විළිලජ්ජාවටත් පාවා දෙනු ලැබීමු. අද අපේ දුඃඛිත තත්ත්වය එය යි.</verse>
				<verse number="8">එහෙත්, දැන් ස්වල්ප වේලාවකට අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට කරුණා කොට, අපෙන් ස්වල්ප දෙනෙකුට ඉතිරි ව සිටින්නත්, මේ ශුද්ධස්ථානයේ සුරැකි ව විසීමටත් ඉඩ දී තිබේ. අපේ දෙවියන් වහන්සේ අපට නව ජීවිතයක් ද අපේ වහල්කමේ දී අපට තරමක සහනයක් ද දී ඇත්තේ මේ අන්දමට ය.</verse>
				<verse number="9">මන්ද, අපි වහල්ලු ය; එහෙත්, අපේ වහල්කමේ දී අපේ දෙවියන් වහන්සේ අප අත් නොහැර, අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනැඟීමටත්, එහි කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය කිරීමටත්, ජුදාහි ද ජෙරුසලමෙහි ද අපට සුරැකි ව විසීමටත් පර්සියාවේ රජවරුන් අභිමුවෙහි අපට කරුණාව පෙන්නූ සේක.</verse>
				<verse number="10">“ ‘එබැවින් අපේ දෙවියන් වහන්ස, මේ සියල්ලට පසු අපි කුමක් කියමු ද? මන්ද, ඔබේ මෙහෙකරුවන් වූ දිවැසිවරුන් මඟින් ඔබ අණ කරවන ලද ඔබේ ආඥාවන් අපි කඩ කෙළෙමු.</verse>
				<verse number="11">ඔවුන් කී දේ මෙසේ ය: ඔබ හිමි කරගන්නට යන දේශය, එහි ජනයන්ගේ පිළිකුල් ක්‍රියාවලින් ද කිලුටුකම්වලින් ද එක් කොණක සිට අනික් කොණ දක්වා පිරී තිබේ. ඔවුන්ගේ අපවිත්‍රකම නිසා එය අපවිත්‍ර දේශයක් ව තිබේ.</verse>
				<verse number="12">ඒ නිසා, ඔබේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන්ට පෙළවහට දීම වත්, ඔවුන්ගේ දූවරුන් ඔබේ පුත්‍රයන්ට පෙළවහට ගැනීම වත්, ඔවුන්ගේ සාමය හා ශුභසිද්ධිය සෙවීම වත් නොකළ යුතු ය. මෙසේ ඔබ බලවත් ව සිට, දේශයේ සරු පලදාව භුක්ති විඳ, එය සදහට ම ඔබේ දරුවන්ට උරුම කර දෙන්නහු ය.</verse>
				<verse number="13">ඉතින් අපේ නපුරු ක්‍රියා හා අපරාධකාරකම ද නිසා අපට පැමිණි සියල්ලට පසුව, අපේ දෙවි වන ඔබ, අපේ අයුතුකම්වල තරමට අපට දඬුවම් නොකර, මෙලෙස ගැළවී සිටින්නට අපට ඉඩ සලසා දී තිබිය දී,</verse>
				<verse number="14">අපි නැවතත් ඔබේ ආඥා කඩ කර, මේ පිළිකුල් දේ කරන ජනයන් හා සමඟ ආවාහ විවාහ කර ගනිමු ද? එසේ කළොත්, එක් කෙනෙකු වත් ගැළවී ඉතුරු නොවන ලෙස අප නැති කර දමන තුරු, ඔබ අප කෙරෙහි උදහස් නොවන සේක් ද?</verse>
				<verse number="15">ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබ ධර්මිෂ්ඨ ය. මන්ද, අද තිබෙන ලෙස අපි කුඩා පිරිසක් ඉතිරි ව සිටිමු. මෙන්න, අපි ඔබ ඉදිරියේ අපේ අපරාධවල ගැලී සිටිමු. මන්ද, මේ කාරණය නිසා ඔබට මූණ දී සිටින්නට අපට නොහැකි ය.’ “</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">මෙසේ එස්රා අඬමින් දෙවියන් වහන්සේගේ මාලිගාව ඉදිරියේ මුණින්තළා වී යාච්ඤා කර පාපෝච්චාරණය කරමින් සිටිය දී, පුරුෂයන්ගෙන් ද ස්ත්‍රීන්ගෙන් ද ළමයින්ගෙන් ද යුත් ඉශ්රායෙල්වරු ඉතා විශාල සමූහයක් ඔහු වෙත රැස්වුණෝ ය. ඔව්හු මහා දුකින් හැඬූ හ.</verse>
				<verse number="2">එවිට ඒලාම්ගේ පුත්‍රයෙකු වූ ජෙහියෙල්ගේ පුත් ෂෙකනියා එස්රාට කතා කරමින්, “අපි විදේශවලින් අන්‍ය ජාතික ස්ත්‍රීන් සරණ පාවාගැනීම හේතුකොටගෙන, අපේ දෙවියන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමු. එසේ වුවත්, ඉශ්රායෙල්වරුන්ට තවමත් බලාපොරොත්තු තිබේ.</verse>
				<verse number="3">ඒ නිසා, ඒ සියලු භාර්යාවන් ද ඔවුන්ගෙන් උපන් දරුවන් ද ඉවත් කරන ලෙස, මාගේ ස්වාමීන්ගේ ද අපේ දෙවියන් වහන්සේගේ ආඥාවට බිය වන්නන්ගේ ද දැනුමැතිකමේ හැටියට අපේ දෙවියන් වහන්සේ සමඟ ගිවිසුමක් කරමු. අපි ව්‍යවස්ථානුකූල ව ක්‍රියා කරමු.</verse>
				<verse number="4">නැඟිටින්න, මේ ගැන වගකීම ඔබට අයිති ය; අපිත් ඔබට සහාය දෙමු. නිර්භීත ව ක්‍රියා කරන්නැ”යි එස්රාට කීවේ ය.</verse>
				<verse number="5">එවිට එස්රා නැඟිට, ෂෙකනියා කී පරිදි කරන ලෙස පූජකයන්ගෙන් ද ලෙවීවරුන්ගෙන් ද සියලු ඉශ්රායෙල්වරුන්ගෙන් ද අධිපතීන්ගෙන් ද දිවුරුම් ගත්තේ ය. ඔව්හු ද දිවුරුම් දුන්හ.</verse>
				<verse number="6">එවිට එස්රා දෙවියන් වහන්සේගේ මාලිගාව ඉදිරියෙන් නික්ම එලියාෂිබ්ගේ පුත් ජොහෝහානාන්ගේ කාමරයට ගියේ ය. ඔහු එහි ගොස් කෑම නොකා, වතුර නොබී සිටියේ ය. මන්ද, විප්‍රවාසයෙන් මිදී පැමිණි අයගේ අපරාධය ගැන ඔහු වැළපුණ බැවිනි.</verse>
				<verse number="7">එවිට විප්‍රවාසයෙන් මිදී ආපසු පැමිණි සියලු දෙන ම ජෙරුසලමට රැස් වන්නට කියා ප්‍රකාශනයක් ජුදා හා ජෙරුසලම මුළුල්ලේ පළ කරන ලදී.</verse>
				<verse number="8">තවද, අධිපතීන්ගේ ද ප්‍රජා මූලිකයන්ගේ ද නියමය අනුව තුන් දවසක් ඇතුළත දී යමෙකු නොපැමිණියොත්, ඔහුගේ සියලු දේපළ පවරා ගනු ලබන බවත්, විප්‍රවාසයෙන් මිදී ආපසු පැමිණි අයගේ සමාගමෙන් ඔහු නෙරපනු ලබන බවත් පළ කරන ලදී.</verse>
				<verse number="9">එවිට ජුදාහි ද බෙන්ජමින්හි ද සියලු මනුෂ්‍යයෝ තුන් දවසක් ඇතුළත ජෙරුසලමට රැස් වූ හ. ඒ දවස නව වන මාසයේ විසි වන දා ය. මුළු සෙනඟ මේ කාරණය නිසාත්, තද වර්ෂාව නිසාත් දෙවියන් වහන්සේගේ මාලිගාව ඉදිරිපිට එළිමහනේ වෙවුලමින් ඉඳගෙන සිටියෝ ය.</verse>
				<verse number="10">පූජක එස්රා නැඟිට සිට, ඔවුන්ට කතා කොට, “ඔබ හැම අන්‍ය ජාතික ස්ත්‍රීන් සරණ පාවාගැනීමෙන් මහා ද්‍රෝහිකමක් කර ඉශ්රායෙල්වරුන්ගේ පාප තවත් වැඩි කර ඇත.</verse>
				<verse number="11">එබැවින් දැන් ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට පාපෝච්චාරණය කර, උන් වහන්සේගේ කැමැත්ත කරමින්, දේශයේ වැසියන්ගෙනුත්, අන්‍ය ජාතික ස්ත්‍රීන්ගෙනුත් වෙන් වන්නැ”යි කී ය.</verse>
				<verse number="12">එවිට මුළු සභාව මහා හඬකින් පිළිතුරු දෙමින්, “එසේ ය, ඔබ කී ලෙස අප කළ යුතු ය.</verse>
				<verse number="13">එහෙත්, සෙනඟ බොහෝ ය. මෙය ඉතා තද වර්ෂා කාලයකි. අපට ද එළිමහනේ හිටගෙන සිටින්නට නුපුළුවන. තවද, අප මේ කාරණය සම්බන්ධයෙන් තදබල වරදක් කර ඇති බැවින්, මෙය දවසකින් වත්, දෙදවසකින් වත් නිම කළ හැකි කාර්යයක් නොවේ.</verse>
				<verse number="14">දැන් අපේ අධිපතියෝ මුළු සභාව වෙනුවෙන් ක්‍රියා කරත්වා. මේ කාරණය නිසා, අපේ දෙවියන් වහන්සේගේ බලවත් උදහස අප කෙරෙන් පහ ව යන තුරු, අපේ නගරවල අන්‍ය ජාතික ස්ත්‍රීන් පාවාගෙන සිටින සියල්ලෝ ද ඔවුන් සමඟ එක එක නුවර ප්‍රජා මූලිකයෝ ද විනිශ්චයකරුවෝ ද නියමිත කාලවල දී පැමිණෙත්වා”යි කීවෝ ය.</verse>
				<verse number="15">මීට විරුද්ධ වූයේ, අසාහෙල්ගේ පුත් ජොනතන් ද තික්වාගේ පුත් ජාසෙයා ද පමණක් ය. මෙෂුල්ලාම් ද ලෙවීය වූ ෂබ්බෙතයි ද ඔවුන්ට සහාය දුන්හ.</verse>
				<verse number="16">විප්‍රවාසයෙන් මිදී ආපසු පැමිණි අය එසේ කළෝ ය. පූජක එස්රා ද තමන්ගේ පිය වංශවල හැටියට පිය වංශවල ප්‍රධානීන් එකිනෙකා නම් වශයෙන් පත් කෙළේ ය. ඔව්හු මේ කාරණය විභාග කරන්නට දස වන මාසයේ පළමු වන දා ආරම්භ කළෝ ය.</verse>
				<verse number="17">අන්‍ය ජාතික ස්ත්‍රීන් සරණ පාවාගෙන සිටි සියලු දෙනා සම්බන්ධ කරුණු ඔව්හු පළමු වන මාසයේ පළමු වන දා තීන්දු කළෝ ය.</verse>
				<verse number="18">පූජකයන්ගේ පුත්‍රයන් අතරෙන් අන්‍ය ජාතික ස්ත්‍රීන් සරණ පාවාගත් සමහර දෙනෙක් සම්බ වූ හ. එනම්: ජෝශාදාක්ගේ පුත් ජේෂුවාගේ පුත්‍රයන්ගෙන් ද ඔහුගේ සහෝදරයන්ගෙන් ද මයසේයා, එලියෙසෙර්, ජාරීබ් සහ ගෙදලියා ය.</verse>
				<verse number="19">ඔව්හු තමන්ගේ භාර්යාවන් අත්හරින බවට පොරොන්දු දුන්හ. තවද, ඔව්හු පාප පූජාවක් වශයෙන් රැළෙන් බැටළුවෙකු බැගින් ඔප්පු කළෝ ය.</verse>
				<verse number="20">ඉම්මෙර්ගේ පුත්‍රයන්ගෙන් හනානි සහ සෙබදියා ය.</verse>
				<verse number="21">හාරීම්ගේ පුත්‍රයන්ගෙන් මයසේයා, එලියා, ෂෙමායා, ජෙහියෙල් සහ උශ්ශියා ය.</verse>
				<verse number="22">පෂ්හුර්ගේ පුත්‍රයන්ගෙන් එලියෝයේනයි, මයසේයා, ඉෂ්මායෙල්, නෙතනෙල්, ජෝසාබාද් සහ එලාසා ය.</verse>
				<verse number="23">ලෙවීවරුන්ගෙන් ජෝසාබාද්, ෂිමෙයි, කේලායා එනම්, කෙලීටා, පෙතහියා, ජුදා සහ එලියෙසෙර් ය.</verse>
				<verse number="24">ගීතිකාකාරයන්ගෙන් එලියාෂිබ් ය. දොරටු පාලකයන්ගෙන් ෂල්ලුම්, ටෙලෙම් සහ උරී ය.</verse>
				<verse number="25">ඉශ්රායෙල්වරුන් අතරෙන් පරොෂ්ගේ පුත්‍රයන්ගෙන් රමියා, ඉස්සියා, මල්කියා, මියාමින්, එලෙයාසර්, මල්කියා සහ බෙනායා ය.</verse>
				<verse number="26">ඒලාම්ගේ පුත්‍රයන්ගෙන් මත්තනියා, ශෙකරියා, ජෙහියෙල්, අබ්දි, ජෙරේමොත් සහ එලියා ය.</verse>
				<verse number="27">සට්ටුගේ පුත්‍රයන්ගෙන් එලියෝයේනයි, එලියාෂිබ්, මත්තනියා, ජෙරේමොත්, සාබාද් සහ අසීසා ය.</verse>
				<verse number="28">බේබයිගේ පුත්‍රයන්ගෙන් ජෙහෝහානාන්, හනනියා, සබ්බයි සහ අත්ලයි ය.</verse>
				<verse number="29">බානීගේ පුත්‍රයන්ගෙන් මෙෂුල්ලාම්, මල්ලුක්, අදායා, ජාෂුබ්, ෂෙයාල් සහ ජෙරේමොත් ය.</verse>
				<verse number="30">පාහත්-මෝවබ්ගේ පුත්‍රයන්ගෙන් අද්නා, කෙලාල්, බෙනායා, මයසේයා, මත්තනියා, බෙසලෙල්, බින්නුයි සහ මනස්සේ ය.</verse>
				<verse number="31">හාරීම්ගේ පුත්‍රයන්ගෙන් එලියෙසෙර්, ඉෂ්ෂියා, මල්කියා, ෂෙමායා, ෂිමෙයොන්;</verse>
				<verse number="32">බෙන්ජමින්, මල්ලුක් සහ ෂෙමරියා ය.</verse>
				<verse number="33">හාෂුම්ගේ පුත්‍රයන්ගෙන් මත්තෙනයි, මත්තත්තා, සාබාද්, එලිපෙලෙත්, ජෙරේමයි, මනස්සේ සහ ෂිමෙයි ය.</verse>
				<verse number="34">බානීගේ පුත්‍රයන්ගෙන් මයදයි, අම්රාම් සහ ඌයෙල් ය;</verse>
				<verse number="35">බෙනායා, බේදෙයා, කෙලූහී;</verse>
				<verse number="36">වනියා, මෙරේමොත්, එලියාෂිබ්,</verse>
				<verse number="37">මත්තනියා, මත්තෙනයි සහ ජාසු ය;</verse>
				<verse number="38">බානී, බින්නුයි සහ ෂිමෙයි ය.</verse>
				<verse number="39">ෂෙලමියා, නාතාන් සහ අදායා ය;</verse>
				<verse number="40">මක්නදෙබයි, ෂාෂයි, ෂාරයි;</verse>
				<verse number="41">අසරේල්, ෂෙලෙමියා, ෂෙමරියා;</verse>
				<verse number="42">ෂල්ලුම්, අමරියා සහ ජෝසෙප් ය.</verse>
				<verse number="43">නෙබෝගේ පුත්‍රයන්ගෙන් ජෙයීයෙල්, මත්තිතියා, සාබාද්, සෙබීනා, ඉද්දෝ, ජෝවෙල් සහ බෙනායා ය.</verse>
				<verse number="44">මේ හැම දෙන ම අන්‍ය ජාතික ස්ත්‍රීන් පාවාගෙන සිටියෝ ය. ඒ භාර්යාවන්ගෙන් සමහරු දරුවන් ද ලැබ සිටියෝ ය.</verse>
			</chapter>
		</book>
		<book number="16">
			<chapter number="1">
				<verse number="1">මෙය වනාහි හකලියාගේ පුත් නෙහෙමියා වන මාගේ කතා වස්තුවකි. අර්තක්ෂස්තා රජුගේ විසි වන අවුරුද්දේ කිස්ලෙව් මාසයේ සූසා නම් අගනුවර මා සිටි කල,</verse>
				<verse number="2">මාගේ ඥාතීන්ගෙන් එක් කෙනෙකු වූ හනානි ද ඔහු සමඟ තවත් මනුෂ්‍යයෝ ද ජුදයෙන් ආහ. එවිට විප්‍රවාසයෙන් ගැළවී ඉතුරු වූ ජුදෙව්වරුන් ගැන ද ජෙරුසලම ගැන ද මම ඔවුන්ගෙන් විචාළෙමි.</verse>
				<verse number="3">ඔව්හු කතා කොට, “විප්‍රවාසයෙන් බේරී ඒ රටේ ඉතිරි ව සිටින අය මහා දුක් කරදරවලටත්, නින්දාවටත් භාජන වී සිටිති. ජෙරුසලමේ පවුර ද බිඳ දමා තිබේ. එහි දොරටු ගිනිබත් කර තිබේ ය”යි මට කී හ.</verse>
				<verse number="4">මම ඒ වචන ඇසූ කල හිඳගෙන ඇඬුවෙමි. මම කීප දවසක් වැලපෙමින්, නිරාහාර ව සිටිමින් ස්වර්ගයේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි මෙසේ යාච්ඤා කෙළෙමි:</verse>
				<verse number="5">“අහෝ! ස්වර්ගයේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබට ප්‍රේම කරමින් ඔබේ ආඥා රක්ෂා කරන්නන් සමඟ විශ්වාසවන්ත ව ගිවිසුම පවත්වන, ගරුබිය දනවන දෙවියන් වහන්ස,</verse>
				<verse number="6">ඔබේ මෙහෙකරුවන් වන ඉශ්රායෙල් සෙනඟ උදෙසා ඔබේ මෙහෙකරු මා දැනට රෑ දාවල් දෙක්හි ඔබ ඉදිරියෙහි ඔප්පු කරන යාච්ඤා අසන පිණිස ඔබේ කන් යොමා මා දෙස බැලුව මැනව. ඉශ්රායෙල් සෙනඟ වන අප ඔබට විරුද්ධ ව කළ පව් මම කියා සිටිමි. මාගේ පියාගේ වංශයේ අය ද මම ද පව් කෙළෙමු.</verse>
				<verse number="7">අපි ඔබට විරුද්ධ ව ඉතා දුෂ්ට ලෙස ක්‍රියා කෙළෙමු; ඔබේ මෙහෙකරුවා වූ මෝසෙස්ට ඔබ අණ කළ අණපණත් ද නියෝග ද රක්ෂා නොකෙළෙමු.</verse>
				<verse number="8">ඔබේ මෙහෙකරුවා වූ මෝසෙස්ට ඔබ අණ කළ දෙය සිහි කළ මැනව. එනම්, ‘නුඹලා ද්‍රෝහිකම් කළොත් මම නුඹලා ජාතීන් අතර විසුරුවන්නෙමි.</verse>
				<verse number="9">එහෙත්, නුඹලා මා වෙත හැරී, මාගේ ආඥා රක්ෂා කරමින්, ඒවා ඉෂ්ට කළොත්, නුඹලාගෙන් සමහරෙකු පන්නා දමනු ලැබ අහසේ කෙළවර සිටියත්, මම ඔවුන් එතැනින් රැස් කර, මාගේ නාමය පිහිටුවන්නට මා විසින් තෝරාගනු ලැබූ ස්ථානයට ඔවුන් ගෙනෙන්නෙමි’ යනුයි.</verse>
				<verse number="10">“මොවුහු වනාහි ඔබේ බලයෙන් ද බලවත් හස්තයෙන් ද ඔබ විසින් මුදාගනු ලැබූ ඔබේ ම මෙහෙකරුවන් හා සෙනඟත් ය.</verse>
				<verse number="11">අහෝ සමිඳාණන් වහන්ස! ඔබේ මෙහෙකරුවාගේ යාච්ඤාවටත්, ඔබේ නාමයට ගරුබිය දක්වන්නට ප්‍රිය වන මෙහෙකරුවන්ගේ යාච්ඤාවලටත් ඔබේ කන් යොමු කළ මැනව. අද ඔබේ මෙහෙකරුවාට ශුභසිද්ධිය සලසා දී රජ්ජුරුවන් ඉදිරියෙහි ඔහුට කරුණාව ලැබෙන්නට සැලසුව මැනව.” එවකට මම රජුගේ පාත්‍රධාරී ව සිටියෙමි.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">දිනක් අර්තක්ෂස්තා රජුගේ විසි වන අවුරුද්දේ නිසාන් මාසයේ ඔහු ඉදිරිපිට මුද්‍රික පානය තිබෙද්දී මම මුද්‍රික පානය රැගෙන රජුට දිනිමි. මීට පෙර මම ඔහු ඉදිරියෙහි දී දුක්මුසු ව නොසිටියෙමි.</verse>
				<verse number="2">එවිට රජු මට කතා කර, “ඔබට අසනීපයක් නැති නමුත්, ඔබේ මුහුණ දුක්මුසු ව තිබෙන්නේ මන් ද? මෙය සිතේ කණගාටුවක් මිස වෙන කිසිවක් නොවේ ය”යි කීවේ ය.</verse>
				<verse number="3">එවිට මම ඉතා බියෙන් රජුට කතා කොට, “රජතුමා සදහට ම ජීවත් වේ වා! මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නගරය පාළු වී, එහි දොරටු ගින්නෙන් දැවී ගොස් තිබිය දී මාගේ මුහුණ දුක්මුසු නොවන්නේ කෙසේ දැ”යි කීමි.</verse>
				<verse number="4">එවිට රජතුමා කතා කොට, “ඔබ ඉල්ලා සිටින්නේ කුමක් දැ”යි මාගෙන් ඇසී ය. එවිට, මම ස්වර්ගයේ දෙවියන් වහන්සේට යාච්ඤා කොට,</verse>
				<verse number="5">“රජතුමා සතුටු නම්, ඔබේ දාසයා රජු ඉදිරියෙහි කරුණාව ලබා සිටී නම්, ජුදාහි මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නගරය ගොඩනඟනු පිණිස මා එහි යැව්ව මැනවැ”යි කීමි.</verse>
				<verse number="6">රජ තෙම, බිසවත් තමා ළඟ වාඩිවී සිටිය දී, කතා කොට, “ඔබේ ගමනට කොපමණ කල් ගත වේ ද” කියාත්, “ඔබ නැවත එන්නේ කවදා ද” කියාත්, මාගෙන් ඇසී ය. මම රජුට කාලයක් නියම කර කීවෙමි. රජතුමා මා යවන්නට සතුටු විය.</verse>
				<verse number="7">ඇරත් මම රජුට කතා කොට, “රජතුමා සතුටු නම්, මා ජුදයට පැමිණෙන තුරු රට මැදින් මට යන්නට දෙන ලෙස, එගොඩ සිටින දිශාධිපතීන්ට දීමට ලියුම් ද</verse>
				<verse number="8">ගෘහයට අයිති කොටුවේ දොරටුවල බාල්කවලටත්, නුවර පවුරුවලටත්, මා පදිංචි වන්නට යන නිවාසයටත් ලී දෙන ලෙස රජුගේ මූකළාන භාරකාරයා වන ආසාප්ට දීමට ලියුමක් ද මට ලැබේ වා”යි කීමි. මාගේ දෙවියන් වහන්සේගේ යහපත් හස්තය මා කෙරෙහි තිබුණු හෙයින් රජ තෙම එසේ ම මට දුන්නේ ය.</verse>
				<verse number="9">එකල මම ගඟ එගොඩ සිටි දිශාධිපතීන් ළඟට අවුත් රජුගේ හසුන් පත් ඔවුන්ට දිනිමි. රජ වනාහි සේනාධිපතීන් ද අසරුවන් ද මා සමඟ එවුවේ ය.</verse>
				<verse number="10">හොරොනීය ජාතික සන්බලට් ද සේවකයා වූ අම්මොනි ජාතික ටෝබියා ද ඒ අසා, ඉශ්රායෙල් සෙනඟගේ ශුභසිද්ධිය දියුණු කරන්නට මනුෂ්‍යයෙකු ආ බව දැනගෙන ඉතාමත් අමනාප වූ හ.</verse>
				<verse number="11">මෙසේ මම ජෙරුසලමට අවුත් තුන් දවසක් එහි සිටියෙමි.</verse>
				<verse number="12">තවද, මම රාත්‍රියේ නැඟිට, මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙකු සමඟ ජෙරුසලම උදෙසා කරන්නට මාගේ දෙවියන් වහන්සේ මාගේ සිතේ තැබූ කල්පනාව කිසි ම මනුෂ්‍යයෙකුට නොදන්වා, මා නැඟී ගිය සතා මිස වෙන යම් සතෙකු නැති ව, රාත්‍රියේ මිටියාවතේ දොරටුවෙන් පිටත් වී,</verse>
				<verse number="13">නාග උල්පත ළඟටත්, කසළ දොරටුව ළඟටත් ගොස්, ජෙරුසලමේ කඩා දමන ලද පවුරත්, ගින්නෙන් දා ගොස් තිබුණු එහි දොරටුත් බලා,</verse>
				<verse number="14">පසු ව උල්පත් දොරටුව සහ රජ පොකුණ ළඟට ගියෙමි. එහෙත්, මා නැඟී උන් සතාට යන්නට ඉඩ නොතිබුණේ ය.</verse>
				<verse number="15">මම රාත්‍රියේ ඔය ළඟින් ගොස් පවුර බලා, ආපසු හැරී, මිටියාවතේ දොරටුවෙන් ඇතුළු වී පැමිණියෙමි.</verse>
				<verse number="16">මා ගිය ගමන ගැන වත්, මා කළ දේ වත් නිලධාරීහු නොදත්හ. මම ඒ වන තුරු ජුදෙව්වරුන්ට වත්, පූජකයන්ට වත්, නායකයන්ට වත්, නිලධාරීන්ට වත්, පවුර ගොඩනැඟිය යුතු සෙසු අයට වත් ඒ බව නොදැන්වීමි.</verse>
				<verse number="17">එකල මම ඔවුන්ට කතා කොට, “ජෙරුසලම පාළු වී තිබෙන හැටි ද එහි දොරටු කැඩී ගොස් තිබෙන හැටි ද අපට පැමිණ තිබෙන විපත්තිය ද ඔබට පෙනේ. ඉතින් එන්න, අපට තවත් නින්දා නොපැමිණෙන පිණිස ජෙරුසලමේ පවුර ගොඩනඟමු”යි කීවෙමි.</verse>
				<verse number="18">තවද, මාගේ දෙවියන් වහන්සේගේ කරුණා හස්තය මා කෙරෙහි තිබෙන බව ද රජු මට කී වචන ගැන ද මම ඔවුන්ට දැන්වීමි. ඔව්හු පිළිතුරු දෙමින්, “අපි නැඟිට ගොඩනඟමු”යි කී හ. මෙසේ ඔව්හු ඒ යහපත් වැඩය සඳහා තමන්ගේ ශ්‍රමශක්තිය යෙදෙවුවෝ ය.</verse>
				<verse number="19">එහෙත්, හොරොනීය ජාතික සන්බලට් ද සේවකයා වූ අම්මොනි ජාතික ටෝබියා ද අරාබි ජාතික ගෙෂෙම් ද ඒ අසා, අපට කවටකම් කරමින් අප හෙළා දැක, “ඔබ කරන මේ දෙය කුමක් ද? ඔබ රජුට විරුද්ධ ව කැරලිගසන්නට සිතන්නහු දැ”යි ඇසූ හ.</verse>
				<verse number="20">එවිට මම ඔවුන්ට පිළිතුරු දෙමින්, “ස්වර්ගයේ දෙවියන් වහන්සේ ම අපේ කාර්යය සාර්ථක කරනු ඇත. එබැවින් උන් වහන්සේගේ සේවකයන් වන අපි ගොඩනැඟීමේ වැඩ පටන්ගනිමු. එහෙත්, ඔබට ජෙරුසලමෙහි කිසි කොටසක් වත්, අයිතිවාසිකමක් වත්, සිහිවීමේ ලකුණක් වත් නැතැ”යි කීවෙමි.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">එකල උත්තම පූජකයා වූ එලියාෂිබ් තෙම පූජකයන් වූ ඔහුගේ සහෝදරයන් සමඟ වැඩ අරඹා බැටළු දොරටුව යළි ගොඩනඟා, උළුවහු යොදා, එහි දොරවල් සවි කොට, හම්මේයාගේ කොත ද හනනේල්ගේ කොත ද දක්වා පවුර ගොඩනැඟුවේ ය.</verse>
				<verse number="2">එලියාෂිබ්ට පසු ව ජෙරිකෝවේ මනුෂ්‍යයෝ පවුර ගොඩනැඟුවෝ ය. ඔවුන්ට පසු ව ඉම්රිගේ පුත් ශක්කුර් ඒවා ගොඩනැඟුවේ ය.</verse>
				<verse number="3">මත්ස්‍ය දොරටුව හස්සෙනායාගේ පුත්‍රයෝ ගොඩනැඟුවෝ ය. ඔව්හු එහි බාල්ක පිහිටුවා එහි දොරවල් හා තහඩු ද අගුල් ද සවි කළහ.</verse>
				<verse number="4">ඔවුන්ට පසු ව හක්කොශ්ගේ පුත් උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් පවුර අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව මෙෂේශබෙල්ගේ පුත් බෙරෙකියාගේ පුත්‍රයා වන මෙෂුල්ලාම් එය අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව බානාගේ පුත්‍ර ශාදොක් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.</verse>
				<verse number="5">ඔහුට පසු ව තෙකෝවරු එය අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. එහෙත්, ඔවුන්ගේ නායකයෝ තමන්ගේ ස්වාමීන්ගේ සේවයට කරගසන්නට කැමැති නුවූ හ.</verse>
				<verse number="6">පාසේයාගේ පුත් ජෝයාදා ද බෙසෝදෙයාගේ පුත් මෙෂුල්ලාම් ද පරණ දොරටුව අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. ඔව්හු එහි බාල්ක පිහිටුවා, එහි දොරවල් හා තහඩු ද අගුල් ද සවි කළෝ ය.</verse>
				<verse number="7">ඔවුන්ට පසු ව ගිබියෝනි ජාතික මෙලෙටියා ද මෙරොනොතීය ජාතික ජාදොන් ද ගිබියොන්හි සහ මිශ්පාහි මනුෂ්‍යයෝ ද යුප්‍රටීස් ගඟින් මෙගොඩ සිටි දිශාධිපතීන් උදෙසා අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය.</verse>
				<verse number="8">ඔවුන්ට පසු ව රන් කරුවන් වූ හර්හායාගේ පුත් උශ්ශියෙල් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව සුගන්ධ ද්‍රව්‍ය මිශ්‍ර කරන්නන්ගෙන් කෙනෙකු වූ හනනියා අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔව්හු පළල් පවුර දක්වා ජෙරුසලම ශක්තිමත් කළෝ ය.</verse>
				<verse number="9">ඔවුන්ට පසු ව ජෙරුසලම් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියා වූ හුර්ගේ පුත් රෙපායා අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.</verse>
				<verse number="10">ඔහුට පසු ව හරුමප්ගේ පුත් ජෙදායා තමාගේ ගෙය ඉදිරිපිට අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව හෂබ්නෙයාගේ පුත් හට්ටුෂ් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.</verse>
				<verse number="11">හාරීම්ගේ පුත් මල්කියා ද පාහත්-මෝවබ්ගේ පුත් හප්ෂුබ් ද තව කොටසක් හා උදුන් කොත අලුත්වැඩියා කළෝ ය.</verse>
				<verse number="12">ඔවුන්ට පසු ව ජෙරුසලම් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියා වූ හල්ලෝ-හෙෂ්ගේ පුත් ෂල්ලුම් ද ඔහුගේ දූවරු ද අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය.</verse>
				<verse number="13">මිටියාවතේ දොරටුව හානුන් ද ශානොවේ වැසියෝ ද අලුත්වැඩියා කළෝ ය. ඔව්හු එය ගොඩනඟා, එහි දොරවල් හා තහඩු ද අගුල් ද තබා, කසළ දොරටුව දක්වා පවුරෙන් මීටර් හාරසිය හතළිහක් ද අලුත්වැඩියා කළෝ ය.</verse>
				<verse number="14">කසළ දොරටුව බෙත්-හක්කෙරෙම් පළාතේ අධිපතියා වූ රේකාබ්ගේ පුත් මල්කියා අලුත්වැඩියා කෙළේ ය. ඔහු එය ගොඩනඟා එහි දොරවල් හා තහඩු ද අගුල් ද සවි කෙළේ ය.</verse>
				<verse number="15">මිශ්පා පළාතේ අධිපතියා වූ කොල්-හෝශෙගේ පුත් ෂල්ලුම් උල්පත් දොරටුව අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහු එය ගොඩනඟා, එහි දොරවල් හා තහඩු ද අගුල් ද සවි කර රජ උයන ළඟ දාවිත්ගේ නුවර සිට බසින පඩි පෙළ දක්වා ෂෙලහේ පොකුණේ පවුර ගොඩනැඟුවේ ය.</verse>
				<verse number="16">ඔහුට පසු ව බෙත්-ශුර් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියා වූ අශ්බුක්ගේ පුත් නෙහෙමියා දාවිත්ගේ සොහොන ඉදිරිපිටට පැමිණෙන තුරුත්, සාදන ලද පොකුණ දක්වාත්, බලවතුන්ගේ ගෙය දක්වාත් අලුත්වැඩියා කෙළේ ය.</verse>
				<verse number="17">ඔහුට පසු ව, ලෙවීවරු බානීගේ පුත් රෙහුම් යටතේ අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. ඔවුන්ට පසු ව කෙයිලා පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියා වූ හෂබියා තමාගේ පළාත වෙනුවට අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.</verse>
				<verse number="18">ඔහුට පසු ව ඔහුගේ සහෝදරයෝ කෙයිලා පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියා වූ හෙනාදාද්ගේ පුත් බව්වයි යටතේ අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය.</verse>
				<verse number="19">ඔවුන්ට පසු ව මිශ්පායේ අධිපතියා වූ ජේෂුවාගේ පුත් එශෙර් පවුරු කොනේ ආයුධ ගබඩාවේ නැඟුම ඉදිරිපිට තව කොටසක් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.</verse>
				<verse number="20">ඔහුට පසු ව සබ්බයිගේ පුත් බාරුක් පවුරු කොනේ සිට උත්තම පූජකයා වූ එලියාෂිබ්ගේ ගෙයි දොරකඩ දක්වා තව කොටසක් අලුත්වැඩියා කිරීමේ වැඩ උනන්දුවෙන් කෙළේ ය.</verse>
				<verse number="21">ඔහුට පසු ව හක්කොශ්ගේ පුත් උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් එලියාෂිබ්ගේ ගෙයි දොරකඩ පටන් එලියාෂිබ්ගේ ගෙයි කෙළවර දක්වා තව කොටසක් අලුත්වැඩියා කෙළේ ය.</verse>
				<verse number="22">ඔහුට පසු ව සමභූමියේ මනුෂ්‍යයන් වූ පූජකයෝ අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය.</verse>
				<verse number="23">ඔවුන්ට පසු ව බෙන්ජමින් ද හෂ්ෂුබ් ද තමන්ගේ ගෙය ඉදිරිපිට කොටස අලුත්වැඩියා කළෝය. ඔවුන්ට පසු ව අනනීයාගේ පුත්‍රයා වන මයසේයාගේ පුත් අශරියා තමාගේ ගෙය ළඟ අලුත්වැඩියා කෙළේ ය.</verse>
				<verse number="24">ඔහුට පසු ව හෙනාදාද්ගේ පුත් බින්නුයි අශරියාගේ ගෙය පටන් පවුර හැරෙන තැන සහ කොත දක්වාත් තව කොටසක් අලුත්වැඩියා කෙළේ ය.</verse>
				<verse number="25">ඌසයිගේ පුත් පාලාල් පවුරු කොතත්, හිරගෙයි මිදුල ළඟ ඉහළ රජ ගෙදරට ඉදිරිපිටින් තිබෙන කොතත් අලුත්වැඩියා කෙළේ ය. ඔහුට පසු ව පරොෂ්ගේ පුත් පෙදායා අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.</verse>
				<verse number="26">එකල ඕපෙල්හි විසූ දේව මාලිගයේ සේවකයෝ නැගෙනහිර දිශාවේ වතුර දොරටුව ද පිටතින් තිබෙන කොත ඉදිරිපිට තැන දක්වා අලුත්වැඩියා කළෝ ය.</verse>
				<verse number="27">පෙදායාට පසු ව තෙකෝවරු පිටතින් තිබෙන ලොකු කොත ඉදිරිපිට ද ඕපෙල්හි පවුර දක්වා ද තව කොටසක් අලුත්වැඩියා කළෝ ය.</verse>
				<verse number="28">පූජකයෝ එකිනෙකා අශ්ව දොරටුවට ඉහළින්, තම තමාගේ ගෙය ඉදිරිපිට අලුත්වැඩියා කළෝ ය.</verse>
				<verse number="29">ඔවුන්ට පසු ව ඉම්මෙර්ගේ පුත් ශාදොක් තමාගේ ගෙය ඉදිරිපිට අලුත්වැඩියා කෙළේ ය. ඔහුට පසු ව නැගෙනහිර දොරටුවේ රැකවලා වූ ෂෙකනියාගේ පුත් ෂෙමායා අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.</verse>
				<verse number="30">ඔහුට පසු ව ෂෙලෙමියාගේ පුත් හනනියා ද ශාලාප්ගේ ස වන පුත්‍රයා වූ හානුන් ද තව කොටසක් අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. ඔවුන්ට පසු ව බෙරෙකියාගේ පුත් මෙෂුල්ලාම් තමාගේ ගෙය ඉදිරිපිට කොටස අලුත්වැඩියා කෙළේ ය.</verse>
				<verse number="31">ඔහුට පසු ව රන්කරුවෙකු වූ මල්කියා මුර දොරටුව ඉදිරිපිට දේව මාලිගාවේ සේවකයන්ගේ ද වෙළෙන්දන්ගේ ද ගෙවල් දක්වාත්, කොනේ උඩුමහල දක්වාත් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.</verse>
				<verse number="32">කොනේ උඩුමහලටත්, බැටළු දොරටුවටත් අතරේ රන්කරුවෝ ද වෙළෙන්දෝ ද අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">අප පවුර සාදන බව සන්බලට් ඇසූ විට, ඔහු කෝප වී, අතිශයින් උදහස් වී ජුදෙව්වරුන්ට නින්දා කෙළේ ය.</verse>
				<verse number="2">ඔහු සිය සහෝදරයන් සහ සමාරියේ සේනාව ඉදිරියේ දී කතා කොට, “මේ බෙලහීන ජුදෙව්වරු කුමක් කරත් ද? මේ ස්ථානය යළි ගොඩනඟන්නට ඔව්හු සිතත් ද? ඔවුන් පූජා කරනු ඇද් ද? දවසකින් වැඩ නිම කරනු ඇද් ද? දවා දැමූ කුණු කන්දරාවලින් ඔවුන් නැවත ගඩොල් සාදාගනු ඇද්දැ”යි කීවේ ය.</verse>
				<verse number="3">ඔහු ළඟ සිටි අම්මොනි ජාතික ටෝබියා ද කතා කොට, “ඔවුන් ගොඩනඟන මේ පවුර කුමක් ද? හිවලෙකු එයට නැඟුණොත් ඌ ඔවුන්ගේ ගල් පවුර කඩා දමනු ඇතැ”යි කීවේ ය.</verse>
				<verse number="4">මම මෙසේ යාච්ඤා කෙළෙමි: “අපේ දෙවියන් වහන්ස! ඇසුව මැනව. අනේ ඔවුන් අප පහත් කොට සලකන හැටි! ඔවුන් කරන නින්දාව ඔවුන්ගේ හිස පිට කඩා වැටුණාවේ! වහල්කමට වැටෙන රටක කොල්ලයට ඔවුන් පාවා දුන මැනව.</verse>
				<verse number="5">ඔවුන්ගේ අපරාධය නොවැසුව මැනව. ඔවුන්ගේ පාපය ඔබ ඉදිරියෙන් නොමැකේ වා! මන්ද, ගොඩනඟන අය ඉදිරිපිට දී ඔවුන් ඔබ උදහස් කර ඇත.”</verse>
				<verse number="6">එහෙත්, අපි පවුර ගොඩනඟාගෙන ගියෙමු. මෙසේ හරි අඩක් උසට මුළු පවුර සාදන ලද්දේ ය. එසේ කළ හැකි වූයේ, වැඩ කරන්නට සෙනඟට සිතේ ධෛර්යය තිබුණ බැවිනි.</verse>
				<verse number="7">ජෙරුසලමේ පවුර අලුත්වැඩියා කිරීමේ වැඩ ඉෂ්ට වන බවත්, එහි කැඩුම්බිඳුම් හරිගස්සාගෙන යන බවත් අසා, සන්බලට් ද ටෝබියා ද අරාබිවරු ද අම්මොන්වරු ද අෂ්දොද්වරු ද ඉතා කෝපාවිෂ්ට වූ හ.</verse>
				<verse number="8">ඔව්හු සියල්ලෝ ම ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කර එහි වියවුලක් හටගන්වන්නට එක් ව කුමන්ත්‍රණය කළෝ ය.</verse>
				<verse number="9">එහෙත්, අපි අපේ දෙවියන් වහන්සේට යාච්ඤා කර, ඔවුන්ගෙන් ආරක්ෂා වන පිණිස රෑ දාවල් දෙක්හි මුර තැබීමු.</verse>
				<verse number="10">ජුදාවරු කතා කොට, “බර ගෙන යන අයගේ ශක්තිය හීන වී තිබේ; කුණුකන්දල් ගොඩගැසී තිබේ. එබැවින් අපට පවුර ගොඩනඟන්නට නොහැකි ය”යි කී හ.</verse>
				<verse number="11">අපේ එදිරිකාරයෝ කතා කොට, “ඔවුන් දැනගන්නට වත්, කිසිවක් දකින්නට වත් පෙර, අපි ඔවුන් පිට කඩා පැන, ඔවුන් මරාදමා ඔවුන්ගේ වැඩ නවත්වන්නෙමු”යි කී හ.</verse>
				<verse number="12">තවද, ඔවුන් අතර විසූ ජුදෙව්වරු පැමිණ, “ඔවුන්, ජීවත් ව සිටින සියලු තැන්වලින් අවුත්, අප පිට කඩා පනිනු ඇතැ”යි කීප වරක් ම අපට කී හ.</verse>
				<verse number="13">ඒ නිසා මම පවුරට පිටුපසින් තිබූ පහත් එළිමහන් ඉඩම්වල තමන්ගේ පවුල්වල ප්‍රකාරයට කඩුත්, හෙල්ලත්, දුනුත් ඇති ව සෙනඟ සිටෙවුවෙමි.</verse>
				<verse number="14">මම කරුණු විමසා බලා නැඟිට, නායකයන්ටත්, නිලධාරීන්ටත්, ඉතිරි සෙනඟටත් කතා කොට, “ඔවුන් ගැන බිය නොවන්න. බියජනක ශ්‍රේෂ්ඨ සමිඳාණන් වහන්සේ සිහි කරමින්, ඔබේ ඥාතීන් ද පුත්‍රයන් ද දූවරුන් ද භාර්යාවන් ද ගෙවල් ද උදෙසා සටන් කරන්නැ”යි කීවෙමි.</verse>
				<verse number="15">තවද, අප ඒ දේ දැනගත් බව ද දෙවියන් වහන්සේ ඔවුන්ගේ මන්ත්‍රණය ව්‍යර්ථ කළ බව ද අපේ සතුරන්ට ආරංචි වූ කල, අපි සියල්ලෝ ම එකිනෙකා තම තමාගේ වැඩ කිරීමට පවුරට ආපසු ගියෙමු.</verse>
				<verse number="16">එතැන් පටන් මාගේ සේවකයන්ගෙන් දෙකෙන් කොටසක් වැඩවල යෙදී සිටියෝ ය. කොටසක් හෙල්ල ද පලිස් ද දුනු ද යුද්ධ සැට්ට ද රැගෙන සිටියෝ ය. අධිපතියෝ ද පවුර ගොඩනැඟීම කළ මුළු ජුදා සෙනඟගේ වැඩ පරිපාලනය කළෝ ය.</verse>
				<verse number="17">බර උසුලාගෙන යන අය එක අතකින් වැඩ කරමින්, අනික් අතින් ආයුධයක් රැගෙන සිටියෝ ය.</verse>
				<verse number="18">ගොඩනඟන අය ද එකිනෙකා තම තමාගේ කඩුව ඉඟටියේ බැඳගෙන ගොඩනැඟුවෝ ය. හොරණෑ පිඹින්නා මා ළඟ සිටියේ ය.</verse>
				<verse number="19">මම නායකයන්ටත්, නිලධාරීන්ටත්, ඉතිරි සෙනඟටත් කතා කොට, “මෙය ඉතා වැදගත් විශාල වැඩකි. අපි පවුර පිට විසිරී එකිනෙකාගෙන් දුරස්තර ව සිටිමු.</verse>
				<verse number="20">යම් තැනකින් ඔබට හොරණෑ ශබ්දය ඇසේ ද, එතැන සිට අප ළඟට රැස් වන්න. අපේ දෙවියන් වහන්සේ අප උදෙසා සටන් කරන සේකැ”යි කීමි.</verse>
				<verse number="21">මෙසේ අපි වැඩෙහි නියුක්ත ව සිටියෙමු. ඔවුන්ගෙන් දෙකෙන් කොටසක් අලුයම් වේලේ පටන් තාරකා පෙනෙන තුරු හෙල්ල රැගෙන සිටියෝ ය.</verse>
				<verse number="22">එකල මම සෙනඟට තවදුරටත් කතා කොට, “රාත්‍රියේ අපට රැකවලක් වන පිණිසත්, දවල් වැඩ කරන පිණිසත් එක එකා තම තමාගේ මෙහෙකරුවා සමඟ ජෙරුසලමෙහි රාත්‍රිය ගත කෙරේවා”යි කීවෙමි.</verse>
				<verse number="23">මාගේ ඥාතීහු වත්, මාගේ සේවකයෝ වත්, මා කැටුව පැමිණි රැකවල්ලු වත්, මම වත් ඇඳුම් නොගැලෙව්වෙමු. එකිනෙකා තම තමාගේ ආයුධ අතේ ඇති ව සිටියෝ ය.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">එකල සෙනඟ ද ඔවුන්ගේ භාර්යාවෝ ද තමන්ගේ සහෝදර ජුදෙව්වරුන්ට විරුද්ධ ව මහා කෑමොරගැසීමක් කළෝ ය.</verse>
				<verse number="2">සමහර දෙනෙක් කතා කොට, “කෑමට හා ජීවත් වීමට ධාන්‍ය ලබා ගන්න පිණිස අපේ දූ පුතුන් උකසට තබන්නට අපට සිදු වී තිබේ ය”යි කී හ.</verse>
				<verse number="3">සමහරු, “සාගතය නිසා ධාන්‍ය ලබා ගනු පිණිස අපේ කෙත් ද මිදි වතු ද ගෙවල් ද උකස් තබන්නට අපට සිදු වී තිබේ ය”යි කී හ.</verse>
				<verse number="4">තවත් සමහරු, “අපේ බිම්වලට හා මිදි වතුවලට රජුගේ තීරු බදු ගෙවීමට අපට මුදල් ණයට ගන්නට සිදු වී තිබේ.</verse>
				<verse number="5">ඉතින් අපේ ශාරීරික වුවමනා අපේ සහෝදරයන්ගේ වුවමනාවලට සමාන නොවේ ද? අපේ දරුවෝ ඔවුන්ගේ දරුවන්ට සමාන නොවෙත් ද? එහෙත්, අපේ පුත්‍රයන් ද දූවරුන් ද දාසකමට දෙන්නට අපට සිදු වී ඇත. අපේ දූවරුන්ගෙන් සමහරෙක් දැනට ම දාසකමට පත් ව සිටිති. අපට කරකියාගන්නට දෙයක් නැත. කුමක් නිසා ද අපේ බිම් ද මිදි වතු ද අනුන්ට අයිති වී තිබේ ය”යි කීවෝ ය.</verse>
				<verse number="6">ඔවුන්ගේ කෑමොරගැසීම ද මේ දුක්ගැනවිල්ල ද ඇසූ විට මම ඉතා කෝප වීමි.</verse>
				<verse number="7">මම මේ ගැන හොඳට කල්පනා කළ පසු, නායකයන්ට ද නිලධාරීන්ට ද තරවටු කර, “ඔබ එක එකා තම තමාගේ සහෝදරයාගෙන් පොළී ගන්නවා නොවේ දැ”යි ඔවුන්ගෙන් ඇසුවෙමි. මම ඔවුන්ට විරුද්ධ ව මහා සමූහයක් රැස් කරවා ඔවුන්ට කතා කොට,</verse>
				<verse number="8">“අන්‍ය ජාතීන්ට විකුණනු ලැබූ ජුදෙව්වරුන් වන අපේ සහෝදරයන් අපේ පුළුවන්කමේ හැටියට අපි මිල දී මුදා ගත්තෙමු. එහෙත් දැන් ඔබ, ඔබේ ම සහෝදරයන් විකුණන්නහු ය. ඔවුන් මිල දී මුදා ගැනීමට අපට සිදු වනු ඇතැ”යි කීවෙමි. එවිට ඔව්හු වචනයක් වත් කියා ගත නොහැකි ව නිශ්ශබ්ද වී සිටියෝ ය.</verse>
				<verse number="9">මම තවදුරටත් කතා කරමින්, “ඔබ කරන දේ හොඳ නැත. අපේ සතුරන් වන අන්‍ය ජාතීන්ගේ අපහාසයට අප ලක් නොවන පිණිස, අපේ දෙවියන් වහන්සේට ගරුබිය ඇති ව හැසිරිය යුතු නොවේ ද?</verse>
				<verse number="10">මමත්, මාගේ ඥාතියෝත්, සේවකයෝත් ඔවුන්ට මුදල් ද ධාන්‍ය ද පොළියට දෙමින් සිටිමු. මෙයාකාර පොළී ගැනීම අපි අත්හැරදමමු.</verse>
				<verse number="11">ඔවුන්ගේ කෙත් ද මිදි වතු ද ඔලීව වතු ද ගෙවල් ද මුදල්වලටත් ධාන්‍යවලටත් මුද්‍රික පානයටත් තෙල්වලටත් ඔබ ඔවුන්ගෙන් අය කරන සියයෙන් කොටස ද අද ම ඔවුන්ට ආපසු දෙන්නැ”යි කීමි.</verse>
				<verse number="12">එවිට ඔව්හු උත්තර දෙමින්, “අපි ඒවා ආපසු දී, ඔවුන්ගෙන් කිසිත් අය නොකර ඔබ කියන ලෙස ම කරන්නෙමු”යි කීවෝ ය. එවිට මම පූජකයන්ට අඬගසා, පොරොන්දුවේ හැටියට ක්‍රියා කරන ලෙස ඔවුන්ගෙන් දිවුරුම් ගතිමි.</verse>
				<verse number="13">මම මාගේ බඳ පටිය ගසා දමා, හිස් බව පෙන්වා, කතා කොට, “මේ පොරොන්දුව ඉෂ්ට නොකරන කවුරුන් නමුත්, තම තමාගේ ගෙයිනුත්, වැඩපළවලිනුත් දෙවියන් වහන්සේ මෙසේ ගසා දමන සේක් වා! ඔහු මෙසේ ගසා දමනු ලැබ හිස් වේවා”යි කීවෙමි. එවිට මුළු සභාව, “ආමෙන්” කියා සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කළහ. සෙනඟ මේ පොරොන්දුවේ ප්‍රකාරයට කළෝ ය.</verse>
				<verse number="14">තවද, ජුදා දේශයේ ඔවුන්ගේ දිශාධිපතියා වශයෙන් මා පත් කරනු ලැබූ දවසේ සිට එනම්, අර්තක්ෂස්තා රජුගේ විසි වන අවුරුද්දේ පටන් තිස් දෙ වන අවුරුද්ද දක්වා දොළොස් අවුරුද්දක් මුළුල්ලේ මාගේ ඥාතීහු වත්, මම වත් දිශාධිපතියාට හිමි කෑම නොකෑවෙමු.</verse>
				<verse number="15">එහෙත්, මට පෙර සිටි පුරෝගාමි දිශාධිපතිවරු සෙනඟට බරක් වී, කෑමත් මුද්‍රික පානයත් හැර රිදී කාසි හතළිහකුත් අය කරගත්තෝ ය. ඒ පමණක් නොව, ඔවුන්ගේ සේවකයෝ පවා සෙනඟට හිරිහැර කළෝ ය. එහෙත්, මම දෙවියන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව සිටි නිසා එසේ නොකෙළෙමි.</verse>
				<verse number="16">එපමණක් නොව, මම පවුර සෑදීමේ වැඩට මාගේ මුළු ශ්‍රමය යෙදුවෙමි. මම කිසිදු ඉඩමක් මිලේට නොගතිමි. මාගේ සියලු සේවකයෝ ද ඒ වැඩය කිරීම සඳහා එහි රැස් ව සිටියෝ ය.</verse>
				<verse number="17">අප අවට විසූ ජාතීන්ගෙන් අප වෙත පැමිණි අය හැර ජුදෙව්වරු සහ නිලධාරීහු එකසිය පණස්දෙනෙක් මාගේ කෑම මේසයෙන් සංග්‍රහ ලැබූ හ.</verse>
				<verse number="18">මා සඳහා දවසකට ගොනෙකුත්, තර බැටළුවෝ හයදෙනෙකුත් පිළියෙළ කරන ලදහ. කුකුළෝ ද මා සඳහා පිළියෙළ කරන ලදහ. දස දවසකට වරක් මුද්‍රික පාන සම් බඳුන් තොග වශයෙන් ගෙනෙන ලදී. එසේ වුව ද, සෙනඟට බොහෝ බර උසුලන්නට තිබුණු නිසා දිශාධිපතියාට හිමි කෑම මම නොඉල්ලුවෙමි.</verse>
				<verse number="19">“මාගේ දෙවියන් වහන්ස, මේ සෙනඟ උදෙසා මා කළ සියල්ල මාගේ යහපත පිණිස සිහි කළ මැනව.”</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">ප්‍රාකාරයේ කැඩුම්බිඳුම් කිසිවක් ඉතුරු නොවන ලෙස මා විසින් එය ගොඩනංවන ලද බව සන්බලට්ට ද ටෝබියාට ද අරාබීය ගෙෂෙම්ට ද අපේ සෙසු සතුරන්ට ද සැළ විය. එහෙත්, ඒ කාලය වන තුරු ම මා දොරටුවල දොරවල් සවි කර නොතිබුණේ ය.</verse>
				<verse number="2">එවිට සන්බලට් ද ගෙෂෙම් ද, “එන්න, ඕනෝහි සමභූමියේ ගම්වලින් එකක අපි සම්මුඛ වෙමු”යි මට ආරාධනා කර එවුවෝ ය. එහෙත්, මෙය ඔවුන් මට අනතුරු කරන්නට යෙදූ උපායකි.</verse>
				<verse number="3">මම ඔවුන් ළඟට පණිවුඩකාරයන් යවමින්, “මම වැදගත් වැඩක යෙදී සිටිමි. ඒ නිසා එන්නට නොහැකි ය. ඔබ වෙත පැමිණෙන පිණිස මා මේ වැඩ අත්හැරියොත් වැඩය නවතිනු ඇතැ”යි කියා යැව්වෙමි.</verse>
				<verse number="4">ඔව්හු මේ අයුරින් සතර වරක් ආරාධනා කර එවූ හ. මමත් ඒ අයුරින් ම ඔවුන්ට පිළිතුරු යැව්වෙමි.</verse>
				<verse number="5">එවිට සන්බලට් තෙම ඒ අයුරින් ම සිය සේවකයා අත විවෘත ලිපියක් පස් වන වරට මා වෙත එවුවේ ය.</verse>
				<verse number="6">එහි මෙසේ ලියා තිබුණේ ය: “ඔබත්, ජුදෙව්වරුනුත් කැරලිගසන්නට සිතන බව මේ ජාතීන් අතරෙහි සැළ වී තිබේ. ගෂ්මු තෙමේ ද එය අනුමත කරයි. ඔබ පවුර ගොඩනඟන්නේ ඒ නිසා බවත්, මෙයාකාරයෙන් ඔබ ඔවුන්ගේ රජ වන්නට සිතන බවත් ඒ වාර්තාවෙන් පෙනේ.</verse>
				<verse number="7">තවද, ජුදාහි රජෙක් සිටි යි කියමින් ඔබ ගැන ම ජෙරුසලමෙහි නිවේදනයක් කරනු පිණිස දිවැසිවරුන්ට නියම කර ඇත. ඉතින් මේ ගැන රජ්ජුරුවන්ට සත්තකින් ම ආරංචි වනු ඇත. ඒ නිසා එන්න, අපි එක් ව මන්ත්‍රණය කරගනිමු.”</verse>
				<verse number="8">මීට පිළිතුරක් වශයෙන් මම පණිවුඩයක් යවමින්, “ඔබ කියන ඔය කිසිවක් සිදු වී නැත. ඔබ ඒවා සිතින් මවාගෙන ඇතැ”යි කීමි.</verse>
				<verse number="9">අපි අපේ වැඩ අතපසු කර, ඒ හේතුවෙන් ඒ වැඩය කිසි කලක නිම කරනු නොලැබේ ය යන බලාපොරොත්තුවෙන් ඔව්හු සියල්ලෝ ම අප බිය ගන්වන්නට උත්සාහ කළෝ ය. එහෙත්, “දෙවියන් වහන්ස, දැන් මාගේ අත් ශක්තිමත් කළ මැනව.”</verse>
				<verse number="10">ඉක්බිති මම මෙහෙතාබල්ගේ පුත් දෙලායාගේ පුත්‍රයා වන ෂෙමායාගේ ගෙදරට ගියෙමි. එසේ ගියේ ඔහුට මා වෙත එන්නට නොහැකි වූ බැවිනි. එවිට ඔහු මා අමතා, “අපි එක් ව දෙවියන් වහන්සේගේ මාලිගාව ඇතුළට ගොස් ශුද්ධස්ථානයේ දොරවල් වසාගෙන සිටිමු. මන්ද, ඔවුන් ඔබ මරන්නට එනු ඇත. ඔබ මරන්නට ඔව්හු අද රාත්‍රියේ ම එති”යි කීවේ ය.</verse>
				<verse number="11">මම ද උත්තර දෙමින්, “මා වැනි කෙනෙකු පලා යන්නට සුදුසු ද? මා වැනි කවරෙක් ජීවිතය ගළවාගන්න පිණිස දේව මාලිගාවට ඇතුළු වේ ද? මම ඇතුළු නොවන්නෙමි”යි කීවෙමි.</verse>
				<verse number="12">ඒ ගැන මා සිතා බැලූ විට, දෙවියන් වහන්සේ ඔහු නොඑවූ බවත්, ටෝබියා ද සන්බලට් ද ඔහුට අල්ලස් දුන් නිසා ඔහු මා ගැන ඒ අනාගත වචනය කී බවත් මට වැටහිණි.</verse>
				<verse number="13">ඔවුන් ඔහුට අල්ලස් දුන්නේ, මා භය වී, කී ලෙස කර පව්කරන පිණිසත් එවිට මට නරක නමක් ලැබී, මට අපහාස වන පිණිසත් ය.</verse>
				<verse number="14">“මාගේ දෙවියන් වහන්ස, ටෝබියා ද සන්බලට් ද කළ මේ ක්‍රියා නිසා, ඔවුන් සහ දිවැසිවරිය වන නෝවදියා ද මා බිය ගන්වන්නට උත්සාහ කළ අනෙක් දිවැසිවරුන් ද අමතක නොකරන්න.”</verse>
				<verse number="15">පණස් දෙදවසකින් එලුල් මාසයේ විසිපස් වන දා පවුරේ වැඩ නිම කරන ලදී.</verse>
				<verse number="16">අපේ සියලු සතුරන් ඒ බව ඇසූ විට ද අප අවට සිටි සියලු ජාතීන් එය දුටු විට ද එය විස්මයජනක යැයි සිතා, මේ වැඩය ඉටු වුණේ අපේ දෙවියන් වහන්සේගේ උපකාරයෙන් බව ඔව්හු තේරුම්ගත්හ.</verse>
				<verse number="17">තවද, ඒ දවස්වල දී ජුදාහි නායකයෝ ලියුම් බොහොමයක් ටෝබියාට යැව්වෝ ය. ටෝබියාගෙන් ද ඔවුන්ට ලියුම් ලැබුණේ ය.</verse>
				<verse number="18">කුමක් නිසා ද ඔහු ආරාගේ පුත් ෂෙකනියාගේ බෑණා නිසාත්, ඔහුගේ පුත් ජෝහානාන් බෙරෙකියාගේ පුත් මෙෂුල්ලාම්ගේ දුව පාවාගෙන සිටි නිසාත්, ජුදාහි බොහෝ දෙනෙක් ඔහු සමඟ දිවුරුමකින් බැඳී සිටියෝ ය.</verse>
				<verse number="19">තවද, ඔහුගේ හොඳ ක්‍රියා ගැන ඔව්හු මා ඉදිරියෙහි දී කීවෝ ය. මාගේ වචනය ද ඔහුට දැන්නුවෝ ය. ටෝබියා ද මා බිය ගන්වන පිණිස ලියුම් එවුවේ ය.</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">පවුර ගොඩනැඟුවාට පසු මම දොරවල් පිහිටෙව්වෙමි. දොරටු පාලකයෝ ද ගායනාකාරයෝ ද ලෙවීවරු ද පත් කරනු ලැබූ හ.</verse>
				<verse number="2">ඉන්පසු මම මාගේ සහෝදර වූ හනානි ද බලකොටුවේ අධිපතියා වූ හනනියා ද ජෙරුසලමේ පරිපාලනයට පත් කෙළෙමි. කුමක් නිසා ද, හනනියා බොහෝ මිනිසුන්ට වඩා විශ්වාස වූ දෙවියන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති කෙනෙකු වී සිටියේ ය.</verse>
				<verse number="3">මම ඔවුන්ට කතා කොට, “අවු රස්නය සැර වන්නට පෙර ජෙරුසලමේ දොරවල් අරින්න නොදෙන්න. ඔවුන් මුර කරන අතර ම දොරවල් වසා පොලු දමා තිබිය යුතු ය. ජෙරුසලමේ වැසියන්ගෙන් සමහරෙකු මුර වැඩවලට ද අන් සමහරෙකු ඔවුන්ගේ ගෙවල් ඉදිරිපිට ද මුරට යොදවා ගත යුතු ය”යි කීවෙමි.</verse>
				<verse number="4">නගරය පළල් ව විශාල ව තිබුණේ ය. එහෙත්, එහි විසූ සෙනඟ ස්වල්ප ය. ගෙවල් ගොඩනඟා තිබුණේ නැත.</verse>
				<verse number="5">එවිට පෙළපත් වශයෙන් ජන සංගණනයක් කරන පිණිස උත්තමයන් ද නිලධාරීන් ද සෙනඟ ද රැස් කරවන්නට මාගේ දෙවියන් වහන්සේ මාගේ සිතෙහි අදහසක් ඇති කළ සේක. පළමුවෙන් ම ආ අයගේ පෙළපත් ලේඛනය මට සම්බ විය. එහි මෙසේ ලියා තිබුණි.</verse>
				<verse number="6">බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් විසින් ගෙනයනු ලැබූ බොහෝ දෙනෙක් වහල්කමෙන් මිදී බබිලෝනියේ සිට ජෙරුසලමටත් ජුදාහි තම තමන්ගේ නගරවලටත් පැමිණියහ.</verse>
				<verse number="7">ඔවුන්ගේ ප්‍රධානියෝ සෙරුබ්බාබෙල් ද ජෝෂුවා ද නෙහෙමියා ද අශරියා ද රයමියා ද නහමානි ද මොර්දෙකයි ද බිල්ෂාන් ද මිස්පෙරෙත් ද බිග්වායි ද නෙහුම් ද බානා ද යන මොවුහු වෙති.</verse>
				<verse number="8">ඉශ්රායෙල් සෙනඟ වූ මනුෂ්‍යයන්ගේ ගණන මෙසේ ය: පරොෂ්ගේ පුත්‍රයෝ දෙදාස් එකසිය හැත්තෑදෙදෙනෙක් ය.</verse>
				<verse number="9">ෂෙපටියාගේ පුත්‍රයෝ තුන්සිය හැත්තෑදෙදෙනෙක් ය.</verse>
				<verse number="10">ආරාගේ පුත්‍රයෝ හයසිය පණස්දෙදෙනෙක් ය.</verse>
				<verse number="11">පාහත්-මෝවබ්ගේ පුත්‍රයන් වූ ජේෂුවාගේ ද ජෝවාබ්ගේ ද පුත්‍රයෝ දෙදාස් අටසිය දහඅටදෙනෙක් ය.</verse>
				<verse number="12">ඒලාම්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය පණස්හතරදෙනෙක් ය.</verse>
				<verse number="13">ශට්ටුගේ පුත්‍රයෝ අටසිය හතළිස්පස්දෙනෙක් ය.</verse>
				<verse number="14">ශක්කයිගේ පුත්‍රයෝ හත්සිය හැටදෙනෙක් ය.</verse>
				<verse number="15">බින්නුයිගේ පුත්‍රයෝ හයසිය හතළිස්අටදෙනෙක් ය.</verse>
				<verse number="16">බේබයිගේ පුත්‍රයෝ හයසිය විසිඅටදෙනෙක් ය.</verse>
				<verse number="17">අශ්ගාද්ගේ පුත්‍රයෝ දෙදාස් තුන්සිය විසිදෙදෙනෙක් ය.</verse>
				<verse number="18">අදොනිකාම්ගේ පුත්‍රයෝ හයසිය හැටහත්දෙනෙක් ය.</verse>
				<verse number="19">බිග්වායිගේ පුත්‍රයෝ දෙදාස් හැටහත්දෙනෙක් ය.</verse>
				<verse number="20">ආදීන්ගේ පුත්‍රයෝ හයසිය පණස්පස්දෙනෙක් ය.</verse>
				<verse number="21">හෙසකියාගේ වංශයට අයිති වූ ආටෙර්ගේ පුත්‍රයෝ අනූඅටදෙනෙක් ය.</verse>
				<verse number="22">හාෂුම්ගේ පුත්‍රයෝ තුන්සිය විසිඅටදෙනෙක් ය.</verse>
				<verse number="23">බේශායිගේ පුත්‍රයෝ තුන්සිය විසිහතරදෙනෙක් ය.</verse>
				<verse number="24">හාරිප්ගේ පුත්‍රයෝ එකසිය දොළොස්දෙනෙක් ය.</verse>
				<verse number="25">ගිබියොන්හි පුත්‍රයෝ අනූපස්දෙනෙක් ය.</verse>
				<verse number="26">බෙත්ලෙහෙමේ සහ නොටොපාහි මනුෂ්‍යයෝ එකසිය අසූඅටදෙනෙක් ය.</verse>
				<verse number="27">අනාතොත්හි මනුෂ්‍යයෝ එකසිය විසිඅටදෙනෙක් ය.</verse>
				<verse number="28">බෙත්-අශ්මාවෙත්හි මනුෂ්‍යයෝ හතළිස්දෙදෙනෙක් ය.</verse>
				<verse number="29">කිරියත්-ජෙයාරීම්හි ද කෙපීරාහි ද බෙයේරොත්හි ද මනුෂ්‍යයෝ හත්සිය හතළිස්තුන්දෙනෙක් ය.</verse>
				<verse number="30">රාමාහිත්, ගෙබාහිත් මනුෂ්‍යයෝ හයසිය විසිඑක්දෙනෙක් ය.</verse>
				<verse number="31">මික්මාස්හි මනුෂ්‍යයෝ එකසිය විසිදෙදෙනෙක් ය.</verse>
				<verse number="32">බෙතෙල්හි ද ආයිහි ද මනුෂ්‍යයෝ එකසිය විසිතුන්දෙනෙක් ය.</verse>
				<verse number="33">අනික් නෙබෝහි මනුෂ්‍යයෝ පණස්දෙදෙනෙක් ය.</verse>
				<verse number="34">අනික් ඒලාම්හි පුත්‍රයෝ එක්දාස් දෙසිය පණස්හතරදෙනෙක් ය.</verse>
				<verse number="35">හාරීම්හි පුත්‍රයෝ තුන්සිය විසිදෙනෙක් ය.</verse>
				<verse number="36">ජෙරිකෝවේ පුත්‍රයෝ තුන්සිය හතළිස්පස්දෙනෙක් ය.</verse>
				<verse number="37">ලොද්හි ද හාදිද්හි ද ඕනෝහි ද පුත්‍රයෝ හත්සිය විසිඑක්දෙනෙක් ය.</verse>
				<verse number="38">සෙනායාහි පුත්‍රයෝ තුන්දාස් නවසිය තිස්දෙනෙක් ය.</verse>
				<verse number="39">පූජකයෝ නම්: ජේෂුවාගේ වංශයේ ජෙදායාගේ පුත්‍රයෝ නවසිය හැත්තෑතුන්දෙනෙක් ය.</verse>
				<verse number="40">ඉම්මෙර්ගේ පුත්‍රයෝ එක්දාස් පණස්දෙදෙනෙක් ය.</verse>
				<verse number="41">පෂ්හුර්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය හතළිස්හත්දෙනෙක් ය.</verse>
				<verse number="42">හාරීම්ගේ පුත්‍රයෝ එක්දාස් දහහත්දෙනෙක් ය.</verse>
				<verse number="43">ලෙවීවරු නම්: හෝදෙවාගේ පුත්‍රයන්ගෙන් කෙනෙකු වූ කද්මියෙල්ගෙන් පැවත ආ ජේෂුවාගේ පුත්‍රයෝ හැත්තෑහතරදෙනෙක් ය.</verse>
				<verse number="44">ගායනාකාරයන් වූ ආසාප්ගේ පුත්‍රයන් එකසිය හතළිස්අටදෙනෙක් ය.</verse>
				<verse number="45">දොරටු පාලකයන් වූ ෂල්ලුම්ගේ පුත්‍රයෝ ද ආටෙර්ගේ පුත්‍රයෝ ද ටල්මොන්ගේ පුත්‍රයෝ ද අක්කුබ්ගේ පුත්‍රයෝ ද හට්ටාගේ පුත්‍රයෝ ද ෂෝබයිගේ පුත්‍රයෝ ද එකසිය තිස්අටදෙනෙක් ය.</verse>
				<verse number="46">දේව මාලිගාවේ සේවකයන් වන නේතිනීම්වරු නම්: ශීහාගේ පුත්‍රයෝ ය; හසුපාගේ පුත්‍රයෝ ය; ටබ්බාවොත්ගේ පුත්‍රයෝ ය;</verse>
				<verse number="47">කේරොස්ගේ පුත්‍රයෝ ය; සියාගේ පුත්‍රයෝ ය; පාදොන්ගේ පුත්‍රයෝ ය;</verse>
				<verse number="48">ලෙබානාගේ පුත්‍රයෝ ය; හගාබාගේ පුත්‍රයෝ ය; සල්මයිගේ පුත්‍රයෝ ය;</verse>
				<verse number="49">හානාන්ගේ පුත්‍රයෝ ය; ගිද්දෙල්ගේ පුත්‍රයෝ ය; ගහර්ගේ පුත්‍රයෝ ය;</verse>
				<verse number="50">රෙයායාගේ පුත්‍රයෝ ය; රෙශීන්ගේ පුත්‍රයෝ ය; නෙකෝදාගේ පුත්‍රයෝ ය;</verse>
				<verse number="51">ගශ්ශාම්ගේ පුත්‍රයෝ ය; උස්සාගේ පුත්‍රයෝ ය; පසේයාගේ පුත්‍රයෝ ය;</verse>
				<verse number="52">බේසයිගේ පුත්‍රයෝ ය; මෙයුනිම්ගේ පුත්‍රයෝ ය; නෙපුෂෙසිම්ගේ පුත්‍රයෝ ය; බක්බූක්ගේ පුත්‍රයෝ ය;</verse>
				<verse number="53">හකුපාගේ පුත්‍රයෝ ය; හර්හුර්ගේ පුත්‍රයෝ ය;</verse>
				<verse number="54">බශ්ලීත්ගේ පුත්‍රයෝ ය; මෙහිදාගේ පුත්‍රයෝ ය; හර්ෂාගේ පුත්‍රයෝ ය;</verse>
				<verse number="55">බර්කොස්ගේ පුත්‍රයෝ ය; සිසෙරාගේ පුත්‍රයෝ ය; තෙමාගේ පුත්‍රයෝ ය;</verse>
				<verse number="56">නෙශියාගේ පුත්‍රයෝ ය; හටිපාගේ පුත්‍රයෝ ය.</verse>
				<verse number="57">සලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ නම්: සෝටයිගේ පුත්‍රයෝ ය; සොපෙරෙත්ගේ පුත්‍රයෝ ය; පෙරීදාගේ පුත්‍රයෝ ය;</verse>
				<verse number="58">ජයලාගේ පුත්‍රයෝ ය; දර්කොන්ගේ පුත්‍රයෝ ය; ගිද්දෙල්ගේ පුත්‍රයෝ ය;</verse>
				<verse number="59">ෂෙපටියාගේ පුත්‍රයෝ ය; හට්ටිල්ගේ පුත්‍රයෝ ය; පොකෙරෙත්-හශ්ශෙබායිම්ගේ පුත්‍රයෝ ය; ආමොන්ගේ පුත්‍රයෝ ය;</verse>
				<verse number="60">දේව මාලිගාවේ සේවකයන්ගේ ද සලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ ද සියල්ලෝ තුන්සිය අනූදෙදෙනෙක් ය.</verse>
				<verse number="61">තේල්-මෙලෙහෙන් ද තේල්-හර්ෂායෙන් ද කෙරුබෙන් ද අද්දෝනෙන් ද ඉම්මෙරෙන් ද ආ, තමන් ඉශ්රායෙල්වරුන් බවට තමන්ගේ පිය වංශයත්, තමන්ගේ පෙළපතත් පෙන්වන්නට බැරි වූ අය නම්:</verse>
				<verse number="62">දෙලායාගේ පුත්‍රයෝත්, ටෝබියාගේ පුත්‍රයෝත්, නෙකෝදාගේ පුත්‍රයෝත් හයසිය හතළිස්දෙදෙනෙක් ය.</verse>
				<verse number="63">පූජකයන්ගෙන් හබායාගේ පුත්‍රයෝත්, හක්කොශ්ගේ පුත්‍රයෝත් ගිලියදිය බර්ශල්ලයිගේ දූවරුන්ගෙන් භාර්යාවක පාවාගෙන ඔවුන්ගේ නාමය ලැබූ බර්සිල්ලයිගේ පුත්‍රයෝත් ය.</verse>
				<verse number="64">නාම සටහන් වූ තමන්ගේ පෙළපත් ලේඛනය සෙවූ නමුත්, සම්බ නොවූ බැවින් මොවුහු අපවිත්‍ර අය ලෙස ගණන්ගන්න ලදුව පූජකකමෙන් ඉවත් කරනු ලැබුවෝ ය.</verse>
				<verse number="65">ඌරිම් සහ තුම්මිම් ඇති පූජකයන් නැඟිටින තුරු ඔවුන් ඉතා ශුද්ධ දේවල් නොකෑ යුතු යයි තිර්ෂාතා තෙමේ ඔවුන්ට කීවේ ය.</verse>
				<verse number="66">මුළු සභාවේ ගණන නම්, හතළිස්දෙදාස් තුන්සිය හැටක් ය.</verse>
				<verse number="67">ඒ හැර ඔවුන්ගේ වැඩකාරයෝත්, වැඩකාරියෝත් හත්දාස් තුන්සිය තිස්හත්දෙනෙක් වූවෝ ය. ඔවුන් අතරේ ගායක ගායිකාවෝ දෙසිය හතළිස්පස්දෙනෙක් සිටියෝ ය.</verse>
				<verse number="68">ඔවුන්ගේ අශ්වයෝ හත්සිය තිස්හයදෙනෙක් ය. ඔවුන්ගේ අශ්වතරයෝ දෙසිය හතළිස්පස්දෙනෙක් ය.</verse>
				<verse number="69">ඔටුවෝ හාරසිය තිස්පස්දෙනෙක් ය. කොටළුවෝ හයදාස් හත්සිය විසිදෙනෙක් ය.</verse>
				<verse number="70">තවද, පවුල්වල ප්‍රධානීන් අතරෙන් සමහරු වැඩයට දායකයෝ වූ හ. තිර්ෂාතා රන් කිලෝග්‍රෑම් අටකුත්, පාත්‍රා පණසකුත්, පූජක ඇඳුම් පන්සිය තිහකුත් ගබඩාවට දුන්නේ ය.</verse>
				<verse number="71">පිය වංශවල ප්‍රධානින්ගෙන් සමහරු රන් කිලෝග්‍රෑම් එකසිය හැටඅටකුත්, රිදී කිලෝග්‍රෑම් එක්දාස් දෙසිය පණහකුත් වැඩ සඳහා ගබඩාවට දුන්නෝ ය.</verse>
				<verse number="72">සෙනඟගෙන් ඉතිරි අය දුන්නේ, රන් කිලෝග්‍රෑම් එකසිය හැටඅටකුත්, රිදී කිලෝග්‍රෑම් එකසිය හතළිසකුත්, පූජක ඇඳුම් හැටහතකුත් ය.</verse>
				<verse number="73">මෙසේ පූජකයෝ ද ලෙවීවරු ද දොරටු පාලකයෝ ද ගායනාකාරයෝ ද සෙනඟගෙන් සමහරු ද දේව මාලිගාවේ සේවකයෝ ද සියලු ඉශ්රායෙල්වරු ද තම තමන්ගේ නගරවල විසූහ.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">හත් වන මස පළමු වන දවස පැමිණි කල ඉශ්රායෙල් සෙනඟ තමන්ගේ නගරවල සිටියෝ ය. මුළු සෙනඟ ද එක් කෙනෙකු මෙන් වතුර දොරටුව ඉදිරිපිට චතුරශ්‍රයෙහි රැස් වූ හ. එවිට ඔව්හු සමිඳාණන් වහන්සේ විසින් ඉශ්රායෙල්වරුන්ට අණ කරන ලද මෝසෙස්ගේ ව්‍යවස්ථා පොත ගෙනෙන්නට නීතිවේදියා සහ පූජකයා වන එස්රාට කී හ.</verse>
				<verse number="2">පූජකයා වන එස්රා ද හත් වන මාසයේ පළමු වන දා සභාව එනම්, පුරුෂයන් ද ස්ත්‍රීන් ද තේරුම්ගන්නට පුළුවන් වයසට පැමිණි දරුදැරියන් ද ඉදිරිපිට ව්‍යවස්ථා පොත ගෙනවුත්,</verse>
				<verse number="3">වතුර දොරටුව ඉදිරියේ තිබුණු චතුරශ්‍රය ඉදිරිපිට සිට, ස්ත්‍රී පුරුෂයන් ද තේරුම්ගත හැකි වයසට පැමිණි දරුදැරියන් ද ඉදිරියේ දී අලුයම් වේලේ පටන් ඉර මුදුන් වේලාව දක්වා ඒ පොත කියෙවුවේ ය. මුලු සෙනඟ ද ව්‍යවස්ථා පොතට සවන් දුන්හ.</verse>
				<verse number="4">ව්‍යවස්ථා පොත කියවීම පිණිස සාදන ලද වේදිකාවක් පිට නීතිවේදියා වන එස්රා සිටියේ ය. ඔහු ළඟ ඔහුගේ දකුණු පැත්තෙන් මත්තිතියා ද ෂෙමා ද අනායා ද උරියා ද හිල්කියා ද මයසේයා ද; වම් පැත්තෙන් පෙදායා ද මිෂායෙල් ද මල්කියා ද හාෂුම් ද හෂ්බද්දානා ද ශෙකරියා ද මෙෂුල්ලාම් ද සිටියෝ ය.</verse>
				<verse number="5">මුළු සෙනඟට වඩා උස් තැනක සිටි එස්රා මුළු සෙනඟ ඉදිරියෙහි පොත දිග ඇරියේ ය. ඔහු එය දිග අරින විට සෙනඟ සියලු දෙන නැඟිට සිටියෝ ය.</verse>
				<verse number="6">එස්රා අති උත්තම දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කෙළේ ය. මුළු සෙනඟ ද අත් ඔසවමින්, “එසේ ම වේ වා!” කියා හිස් නමා මුණින්තලා වී සමිඳාණන් වහන්සේට නමස්කාර කළෝ ය.</verse>
				<verse number="7">තවද, ජේෂුවා ද බානී ද ෂෙරෙබියා ද ජාමීන් ද අක්කුබ් ද ෂබ්බෙතයි ද හෝදියා ද මයසේයා ද කෙලීටා ද අශරියා ද ජොශාබාද් ද හානාන් ද පෙලායා ද යන ලෙවීවරු ද සෙනඟ ඔවුන් සිටි තැන්වල නැවතී සිටිය දී ම ඔවුන්ට ව්‍යවස්ථාව තේරුම් කර දුන්හ.</verse>
				<verse number="8">මෙසේ ඔව්හු දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා පොත පැහැදිලි ලෙස කියවා එහි අර්ථය තෝරා දුන්හ. මිනිස්සු ද කියෙවූ දේ තේරුම් ගත්හ.</verse>
				<verse number="9">තිර්ෂාතා වූ නෙහෙමියා ද නීතිවේදියා වූ පූජක එස්රා ද සෙනඟට ඉගැන්වූ ලෙවීවරු ද මුළු සෙනඟට කතා කොට, “අද දින ඔබ හැමගේ දෙවි සමිඳාණන් වහන්සේට ශුද්ධ දිනයක් ය. වැලපෙන්නට වත්, අඬන්නට වත් එපා ය”යි කී හ. එසේ කීවේ, මුළු සෙනඟ ව්‍යවස්ථාවේ වචන ඇසූ කල ඇඬූ බැවිනි.</verse>
				<verse number="10">එවිට ඔහු ඔවුන්ට කතා කොට, “ඔබ ගොස් රසවත් දේවල් කා, මිහිරි පානය බී, කිසිවක් සූදානම් කර නොගත් අයට ආහාර පංගු යවන්න. කුමක් නිසා ද අද දින අපේ සමිඳාණන් වහන්සේට ශුද්ධ දිනයකි. ශෝක නොවන්න. මන්ද, සමිඳාණන් වහන්සේ කෙරෙහි ප්‍රීති වීම ඔබේ ශක්තිය වේ ය”යි කී ය.</verse>
				<verse number="11">ලෙවීවරු ද කතා කරමින්, “අද දවස ශුද්ධ දිනයක් නිසා, නිශ්ශබ්ද වන්න. ශෝක නොවන්නැ”යි මුළු සෙනඟ නිශ්චල කළෝ ය.</verse>
				<verse number="12">එසේ සෙනඟ සියලු දෙන කන්නටත්, බොන්නටත්, කෑම පංගු යවන්නටත්, බොහෝ සේ ප්‍රීතිවන්නටත් පිටත් වී ගියෝ ය. කුමක් නිසා ද ඔවුන් ප්‍රකාශ කළ වචන ඔව්හු තේරුම් ගත්තෝ ය.</verse>
				<verse number="13">දෙ වන දා මුළු සෙනඟගේ පිය වංශවල ප්‍රධානීහු ද පූජකයෝ ද ලෙවීවරු ද නව ව්‍යවස්ථාව උගෙනීම පිණිස නීතිවේදියා වූ එස්රා වෙත රැස් වූ හ.</verse>
				<verse number="14">එවිට හත් වන මාසයේ පවත්වන මංගල්‍යයේ දී ඉශ්රායෙල් සෙනඟ පැල්පත්වල වාසය කළ යුතුය කියා සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් ආඥා කළ බව ව්‍යවස්ථාවේ ලියා තිබෙනු ඔවුන්ට සම්බ විය.</verse>
				<verse number="15">මෙය දැනගන්නට ලැබුණු වහා ම, ඔව්හු ඔවුන්ගේ නගරවල ද ජෙරුසලමෙහි ද ප්‍රකාශනයක් කළෝ ය. ඒ මෙසේ ය: “පොතේ ලියා තිබෙන ලෙස, පැල්පත් සාදනු පිණිස ඔබ කඳුකරයට ගොස්, ඔලීව අතු ද වල් ඔලීව අතු ද මරඳ අතු ද තල් අතු ද අතු ඝන ව තිබෙන ගස්වල අතු ද ගෙනෙන්න.”</verse>
				<verse number="16">එබැවින් සෙනඟ ගොස් ඒවා ගෙනවුත් එක් එක්කෙනා තම තමාගේ පියස්ස උඩත්, තමන්ගේ මිදුල්වලත්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ මිදුල්වලත්, වතුර දොරටුව චතුරශ්‍රයේත්, එප්‍රායිම් දොරටුවේ එළිමහනේත් පැල්පත් සාදාගත්තෝ ය.</verse>
				<verse number="17">විප්‍රවාසයෙන් මිදී ආ අයගෙන් යුත් මුළු සභාව පැල්පත් සාදාගෙන පැල්පත්වල විසුවෝ ය. නූන්ගේ පුත් ජෝෂුවාගේ දවස්වල පටන් ඒ දවස දක්වා ඉශ්රායෙල් සෙනඟ මෙවැන්නක් කර තිබුණේ නැත. ඒ නිසා ඉමහත් සන්තෝෂයක් ද විය.</verse>
				<verse number="18">තවද, පළමු වන දා පටන් අන්තිම දවස දක්වා එස්රා දවසින් දවස දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා පොත කියෙවුවේ ය. ඔව්හු සත් දවසක් මංගල්‍යය පැවැත්වූවෝ ය. අට වන දා නියමය ලෙස, ගරුගාම්භීර මංගල රැස්වීමක් පවත්වනු ලැබී ය.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">තවද, ඒ මාසයේ විසිහතර වන දා ඉශ්රායෙල් සෙනඟ නිරාහාර ව ගෝණි රෙදි හැඳ, තමන්ගේ හිස පිට පස් ලා ගෙන, උපවාසයක් සඳහා රැස් වූ හ.</verse>
				<verse number="2">ඉශ්රායෙල් ජාතිය අන්‍ය සියලු ජාතීන්ගෙන් වෙන් වී, තමන්ගේ පව් ද තමන්ගේ පියවරුන්ගේ අපරාධ ද ප්‍රකාශ කළහ.</verse>
				<verse number="3">ඔව්හු තමන්ගේ ස්ථානයෙහි නැඟිට සිට, දවසෙන් හතරෙන් කොටසක් තුළ තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථා පොත කියෙව්වෝ ය; තවත් හතරෙන් කොටසක් තුළ එකිනෙකා පාපෝච්චාරණය කර, දෙවි සමිඳාණන් වහන්සේට නමස්කාර කළෝ ය.</verse>
				<verse number="4">එවිට ජේෂුවා ද බානී ද කද්මියෙල් ද ෂෙබනියා ද බුන්නී ද ෂෙරෙබියා ද බානී ද කෙනානි ද ලෙවීවරුන්ගේ වේදිකාවේ උඩ සිට මහා හඬකින් තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට යාච්ඤා කළෝ ය.</verse>
				<verse number="5">පසුව ජේෂුවා ද කද්මීයෙල් ද බානී ද හෂබ්නෙයා ද ෂේරෙබියා ද හෝදියා ද ෂෙබනියා ද පෙතහියා ද යන ලෙවීවරු කතා කොට, “ඔබ නැඟිට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා කරන්න. එසේ ය, සියලු ප්‍රශංසා හා වර්ණනා ඉක්මවා ඇති ඔබේ තේජාන්විත නාමයට ප්‍රශංසා වේවා”යි කී හ.</verse>
				<verse number="6">එස්රා මෙසේ යාච්ඤා කෙළේ ය: “ඔබ ම, ඔබ පමණක් ම සමිඳාණන් වහන්සේ ය. ඔබ ස්වර්ගය ද ස්වර්ගවල ස්වර්ගය ද එහි සියලු ග්‍රහතාරකා ද පොළොව සහ එය මතුපිට ඇති සියල්ල ද සත් සමුදුර සහ එහි ඇති සියල්ල ද මැවූ සේක. ඔබ ම ඒ සියල්ල ආරක්ෂා කරන සේක. ග්‍රහතාරකාවෝ ද ඔබට නමස්කාර කරති.</verse>
				<verse number="7">ඔබ වනාහි ආබ්‍රම් තෝරාගෙන, ඌර් නම් කල්දිවරුන්ගේ නුවරින් ඔහු ගෙනවුත්, ආබ්‍රහම් යන නම ඔහුට තැබූ දෙවි සමිඳාණන් වහන්සේ ය.</verse>
				<verse number="8">ඔබ ඉදිරියෙහි ඔහු විශ්වාසවන්ත ව සිටින බව දැක, ඔබ කානානිවරුන්ගේ ද හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද පෙරිස්සිවරුන්ගේ ද ජෙබුසිවරුන්ගේ ද ගිර්ගාෂිවරුන්ගේ ද දේශය දෙන්නට, ඔහුගේ වංශයට දෙන්නට ඔහු සමඟ ගිවිසුමක් කර ඔබේ පොරොන්දුව ඔබ ඉෂ්ට කළ සේක. කුමක් නිසා ද ඔබ ධර්මිෂ්ඨ ය.</verse>
				<verse number="9">“තවද, මිසරයේ දී අපේ පියවරුන්ගේ පීඩාව ඔබ දුටු සේක. රතු මුහුද ළඟ දී ඔවුන්ගේ මොරගැසීම ද ඔබ ඇසූ සේක.</verse>
				<verse number="10">පාරාවෝට ද ඔහුගේ සියලු සේවකයන්ට ද ඔහුගේ දේශයේ මුළු සෙනඟට ද විරුද්ධ ව හාස්කම් හා අරුමපුදුම දේ කර වදාළ සේක. කුමක් නිසා ද ඔවුන්ට විරුද්ධ ව ඒ අය උඩඟුකම් කරන බව ඔබ දැනගෙන සිටි සේක. ඔබ ද අද දක්වා පවතින කීර්තිමත් නාමයක් දිනාගත් සේක.</verse>
				<verse number="11">තවද ඔවුන් මුහුද මැදින් වියළි බිම පිට යන ලෙස ඔවුන්ට පෙරටුවෙන් ඔබ මුහුද දෙබෑ කළ සේක. ඔවුන් පසුපස ලුහුබැඳගෙන ආ අය ඔබ මහා ජලයෙහි ගලක් දමන ලෙස ගැඹුරට හෙළූ සේක.</verse>
				<verse number="12">ඔබ දවල් වලා ටැඹකින් ද ඔවුන් යන මාර්ගයෙහි දී ඔවුන්ට එළිය දෙන පිණිස රෑ ගිනි ටැඹකින් ද ඔවුන් ගෙන ගිය සේක.</verse>
				<verse number="13">ඔබ සීනයි කන්ද පිටට බැස, ස්වර්ගයේ සිට ඔවුන් සමඟ කතා කර, සාධාරණ විනිශ්චයයන් ද සැබෑ ව්‍යවස්ථාවන් ද සුදුසු පණත් ද ආඥා ද ඔවුන්ට දුන් සේක.</verse>
				<verse number="14">“ඔබේ මෙහෙකරු වූ මෝසෙස් මඟින් ඔබේ ශුද්ධ සබත් දවස් ද ඔබ ඔවුන්ට දන්වා, ආඥාවන් ද ව්‍යවස්ථාවන් ද ඔවුන්ට නියම කළ සේක.</verse>
				<verse number="15">ඔවුන්ගේ කුසගින්නට ඔබ ස්වර්ගයෙන් ඔවුන්ට ආහාර දුන් සේක. ඔවුන්ගේ පිපාසයට පර්වතයෙන් ඔවුන්ට වතුර නික්ම වූ සේක.</verse>
				<verse number="16">ඔබ ඔවුන්ට දෙන බවට දිවුරුම් දුන් දේශය හිමි කරගැනීමට ඇතුළුවන්නට කියා ද ඔවුන්ට අණ කළ සේක. එහෙත්, අපේ පියවරු මුරණ්ඩු ව ඔබේ ආඥාවන්ට අකීකරු වූ හ.</verse>
				<verse number="17">ඔව්හු කීකරු වන්නට අකමැති වී, ඔවුන් අතරේ ඔබ කළ පුදුම දේ සිහි නොකර, මුරණ්ඩු ව සිටිමින්, පෙරළා වහල්කමට යන පිණිස තමන්ගේ ප්‍රධානියෙකු පත් කරගත්හ. එහෙත්, ඔබ කමා වන, දයාබර, අනුකම්පාවෙන් පූර්ණ, ඉවසිලිවන්ත, කරුණාභරිත දෙවි කෙනෙකු බැවින් ඔබ ඔවුන් අත් නොහැරිය සේක.</verse>
				<verse number="18">එපමණක් නොව, ඔව්හු තමන්ට වාත්තු වස්සෙකු සාදාගෙන ‘මිසරයෙන් ඔබ ගෙනා ඔබේ දෙවියන් වහන්සේ මේ ය’යි මහා දේව අපහාසයක් කළ විටත්,</verse>
				<verse number="19">ඔබේ මහානුකම්පාව නිසා ඔබ ඔවුන් පාළුකරයෙහි අත් නොහැරිය සේක. මාර්ගයේ ඔවුන් ගෙන ගිය වලා ටැඹ දවාලේ වත්, ඔවුන් යා යුතු මාර්ගයේ දී ඔවුන්ට එළිය දුන් ගිනි ටැඹ රාත්‍රියේ වත් ඔවුන් කෙරෙන් පහ නො වී ය.</verse>
				<verse number="20">ඔවුන්ට ගුරුකම් දෙන පිණිස ඔබේ යහපත් ආත්මානුභාවය ඔබ ඔවුන්ට දුන් සේක. ඔවුන්ගේ ආහාරය වූ මන්නා ඔබ ඔවුන්ගෙන් අහක් කර නොගත් සේක. ඔවුන්ගේ පිපාසයේ දී ඔබ ඔවුන්ට වතුර දුන් සේක.</verse>
				<verse number="21">එසේ ය, ඔබ හතළිස් අවුරුද්දක් පාළුකරයේ දී ඔවුන් පෝෂණය කළ සේක. ඔවුන්ට කිසි අගහිඟයක් නො වී ය. ඔවුන්ගේ ඇඳුම් පරණ වුණේ වත්, ඔවුන්ගේ පාද ඉදිමුණේ වත් නැත.</verse>
				<verse number="22">“තවද, ඔබ රාජ්‍යයන් ද ජනයන් ද ඔවුන්ට දී, ඔවුන් පළාත්වලට බෙදා නියම කළ සේක. මෙසේ ඔව්හු සීහොන්ගේ දේශයත් එනම්, හෙෂ්බොන්හි රජුගේ දේශයත්, බාෂාන්හි රජ වූ ඕග්ගේ දේශයත් හිමි කරගත්තෝ ය.</verse>
				<verse number="23">ඔබ අහසේ තාරකා මෙන් ඔවුන්ගේ දරුවන් වැඩිකර, හිමි කරගන්නට ඔවුන්ට ඇතුළු විය යුතු ය කියා ඔබ ඔවුන්ගේ පියවරුන්ට කී දේශයට ඔවුන් පැමිණෙවූ සේක.</verse>
				<verse number="24">ඔවුන්ගේ දරුවෝ ද ඇතුළු වී දේශය හිමි කරගත්තෝ ය. ඔබ ඔවුන්ට පෙරටුවෙන් දේශයේ වැසියන් වූ කානානිවරුන් යටත් කර ඔවුන්ගේ කැමැත්ත ලෙස කිරීමට ඒ තැනැත්තන් ද ඔවුන්ගේ රජවරුන් ද දේශයේ ජාතීන් ද ඔවුන් අතට පාවා දුන් සේක.</verse>
				<verse number="25">ඔව්හු පවුරු ඇති නගර ද සශ්‍රීක රටක් ද අල්ලාගෙන, සියලු ආකාර හොඳ දේවලින් පිරී තිබුණු ගෙවල් ද කණින ලද තටාක ද මිදි වතු ද ඔලීව වතු ද පල දෙන බොහෝ ගස් ද හිමි කරගත්හ. ඒවා අනුභව කොට, තෘප්තියට පැමිණ, තර වී, ඔබේ මහා යහපත්කම කරණකොටගෙන සැපෙන් පසු වූවෝ ය.</verse>
				<verse number="26">“එසේ වී නමුත්, ඔව්හු අකීකරු වී ඔබට විරුද්ධ ව කැරලි ගසා, ඔබේ ව්‍යවස්ථාවට පිටුපා, ඔබ වෙත ඔවුන් හරවාගන්නට ඔවුන්ට අවවාද කළ ඔබේ දිවැසිවරුන් මරා මහා දේව අපහාසයක් කළෝ ය.</verse>
				<verse number="27">එහෙයින් ඔබ ඔවුන්ගේ එදිරිකාරයන් අතට ඔවුන් පාවා දුන් සේක. ඔව්හු ඔවුන්ට පීඩා කළෝ ය. ඔවුන්ගේ පීඩා කාලයේ දී ඔවුන් ඔබට මොරගැසූ කල ඔබ ස්වර්ගයේ සිට සවන් දී, ඔබේ මහානුකම්පාව නිසා ඔවුන්ගේ එදිරිකාරයන්ගේ අතින් ඔවුන් ගළවාගත් විමුක්තිදායකයන් ඔවුන්ට දුන් සේක.</verse>
				<verse number="28">එහෙත්, ඔවුන්ට නිදහස ලැබුණ විට ඔව්හු නැවත ඔබ ඉදිරියෙහි නපුරුකම් කළෝ ය. එවිට ඔවුන්ගේ සතුරන් ඔවුන් කෙරෙහි බලය පවත්වනු පිණිස ඔබ ඔවුන් සතුරන්ගේ අතට පාවා දුන් සේක. එහෙත්, ඔවුන් නැවතත් මොරගැසූ විට ඔබ ස්වර්ගයේ සිට අසා, ඔබේ අනුකම්පාවේ හැටියට, බොහෝ වතාවල ඔවුන් නිදහස් කළ සේක.</verse>
				<verse number="29">ඔබේ ව්‍යවස්ථාවට ඔවුන් හරවා ගන්නට ඔබ ඔවුන්ට අවවාද කළ සේක. එහෙත්, ඔව්හු උඩඟුකම් කර, ඔබේ ආඥාවලට සවන් නො දී, මනුෂ්‍යයා ජීවත් වන පිණිස ඔහු කළ යුතු ඔබේ විනිශ්චයයන්ට විරුද්ධ ව පව් කොට දරදඬු වී, හිතුවක්කාරකමින් සවන් නො දී සිටියෝ ය.</verse>
				<verse number="30">එහෙත්, ඔබ බොහෝ අවුරුදු ගණනක් ඔවුන් ගැන ඉවසා, ඔබේ ආත්මානුභාවයෙන් ඔබේ දිවැසිවරුන් මඟින් ඔවුන්ට අවවාද කළ සේක. එහෙත්, ඔව්හු සවන් නුදුන්හ. ඔබ ද දේශවල ජනයන් අතට ඔවුන් පාවා දුන් සේක.</verse>
				<verse number="31">එසේ වී නමුත්, ඔබේ මහානුකම්පාව නිසා ඔබ ඔවුන් මුළුමනින්ම නැති කර දැමුවේ වත්, ඔවුන් අත්හැර දැමුවේ වත් නැත. කුමක් නිසා ද ඔබ දයාබර අනුකම්පා ඇති දෙවි කෙනෙකු බැවිනි.</verse>
				<verse number="32">“ඉතින් අපේ දෙවියන් වහන්ස, මහත් වූ, බලවන්ත වූ, භයානක වූ ගිවිසුම ද කරුණාව ද පවත්වන්නා වූ දෙවියන් වහන්ස, අසිරියාවේ රජුන්ගේ කාලයේ සිට අද දක්වා අපටත්, අපේ පියවරුන්ටත්, අපේ අධිපතීන්ටත්, අපේ පූජකයන්ටත්, අපේ දිවැසිවරුන්ටත්, ඔබේ මුළු සෙනඟටත් පැමිණි සියලු දුක් ගැහැට ඔබ ඉදිරියෙහි සුළු ලෙස නොපෙනේ වා!</verse>
				<verse number="33">ඔබ වනාහි අපට පැමිණි සියල්ල සම්බන්ධයෙන් සාධාරණ ව සිටි සේක. කුමක් නිසා ද, ඔබ විශ්වාසවන්ත ව ක්‍රියා කළ සේක. අපි නම් දුෂ්ටකම් කෙළෙමු.</verse>
				<verse number="34">අපේ රජවරුන් ද අපේ අධිපතීන් ද අපේ පූජකයන් ද අපේ පියවරුන් ද ඔබේ ව්‍යවස්ථාව පැවැත්වූයේ වත්, ඔබේ ආඥාවලට ද ඔබ ඔවුන්ට කළ ඔබේ අවවාදවලට ද සවන් දුන්නේ වත් නැත.</verse>
				<verse number="35">ඔවුන් සිය රජවරුන් යටතේ ඔබ ඔවුන්ට දුන් සෞභාග්‍යය භුක්තිවිඳින විට ද ඔබ ඔවුන්ට දුන් විශාල සාරවත් දේශයේ දී ද ඔබට සේවය කෙළේ වත්, තමන්ගේ නපුරු ක්‍රියාවලින් වෙන් වුණේ වත් නැත.</verse>
				<verse number="36">මෙන්න අපි දැනට දාසයන් වී සිටිමු. භූමියේ උපදින ඵල ද හොඳ දේවල් ද භුක්තිවිඳීමට ඔබ අපේ පියවරුන්ට දුන් දේශයෙහි ම අපි දාසයන් වී සිටිමු.</verse>
				<verse number="37">අපේ පව් නිසා ඔබ අප කෙරෙහි පත් කළ රජුන්ට දේශයේ අස්වැන්න අයිති වන්නට සලසා ඇත. ඔව්හු සිය කැමැත්ත පරිදි අප කෙරෙහි ද අපේ ගවයන් කෙරෙහි ද බලය පවත්වති. අපි මෙබඳු මහා දුකකින් සිටිමු.</verse>
				<verse number="38">“මේ සියල්ල නිසා අපි ලියවිල්ලකින් ස්ථිර ගිවිසුමක් කරමු. අපේ අධිපතීහු ද අපේ ලෙවීවරු ද අපේ පූජකයෝ ද ඒ පිට ඔවුන්ගේ මුද්‍රාව තබති.”</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">මුද්‍රා කළ අය නම්: හකලියාගේ පුත් තිර්ෂාතා වන නෙහෙමියා ද ශෙදෙකියා ද;</verse>
				<verse number="2">සෙරායා ද අශරියා ද ජෙරමියා ද;</verse>
				<verse number="3">පෂ්හුර් ද අමරියා ද මල්කියා ද;</verse>
				<verse number="4">හට්ටුෂ් ද ෂෙබනියා ද මල්ලූක් ද;</verse>
				<verse number="5">හාරීම් ද මෙරේමොත් ද ඔබදියා ද;</verse>
				<verse number="6">දානියෙල් ද ගින්නෙතොන් ද බාරුක් ද;</verse>
				<verse number="7">මෙෂුල්ලාම් ද අබියා ද මියාමින් ද;</verse>
				<verse number="8">මයශයා ද බිල්ගයි ද ෂෙමායා ද යන පූජකයෝ ය.</verse>
				<verse number="9">ලෙවීවරුන් වන අශනියාගේ පුත් ජේෂුවා ද හෙනාදාද්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වන බීන්නුයි ද කද්මියෙල් ද;</verse>
				<verse number="10">ඔවුන්ගේ සහෝදරයන් වන ෂෙබනියා ද හෝදියා ද කෙලීටා ද පෙලායා ද හානාන් ද;</verse>
				<verse number="11">මීකා ද රෙහොබ් ද හෂබියා ද;</verse>
				<verse number="12">ශක්කුර් ද ෂේරෙබියා ද ෂෙබනියා ද;</verse>
				<verse number="13">හෝදියා ද බානී ද බෙනීනු ද යන තැනැත්තෝ ය.</verse>
				<verse number="14">සෙනඟගේ ප්‍රධානියන් වන පාරොෂ් ද පාහත්-මෝවබ් ද ඒලාම් ද ශට්ටු ද බානී ද,</verse>
				<verse number="15">බුන්නී ද අශ්ගාද් ද බේබයි ද;</verse>
				<verse number="16">අදොනියා ද බිග්වායි ද ආදීන් ද;</verse>
				<verse number="17">ආටෙර් ද හෙසකියා ද අශ්ශුර් ද;</verse>
				<verse number="18">හෝදියා ද හාෂුම් ද බේශයි ද;</verse>
				<verse number="19">හාරිප් ද ආනාතොත් ද නෝබයි ද;</verse>
				<verse number="20">මග්පියාෂ් ද මෙෂුල්ලාම් ද හෙසීර් ද;</verse>
				<verse number="21">මෙෂේශබයෙල් ද ශාදොක් ද ජද්දුවා ද;</verse>
				<verse number="22">පෙලටියා ද හානාන් ද අනායා ද</verse>
				<verse number="23">හෝෂෙයා ද හනනියා ද හෂ්ෂුබ් ද;</verse>
				<verse number="24">හල්ලෝහෙෂ් ද පිල්හා ද පෝබෙක් ද;</verse>
				<verse number="25">රෙහුම් ද හෂබ්නා ද මයසේයා ද;</verse>
				<verse number="26">අහියා ද හානාන් ද ආනාන් ද;</verse>
				<verse number="27">මල්ලූක් ද හාරීම් ද බානා ද යන තැනැත්තෝ ය.</verse>
				<verse number="28">සෙනඟගෙන් ඉතිරි අය ද පූජකයෝ ද ලෙවීවරු ද දොරටු පාලකයෝ ද ගීතිකාකාරයෝ ද දේව මාලිගාවේ සේවකයෝ ද දේශවල ජනයන්ගෙන් වෙන් ව දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවට හැරුණු සියල්ලෝ ද ඔවුන්ගේ භාර්යාවෝ ද ඔවුන්ගේ පුත්‍රයන්ගෙන් සහ දූවරුන්ගෙන් දැනුම් තේරුම් ඇති සියල්ලෝ ද</verse>
				<verse number="29">තමන්ගේ නායකයන් වන තමන්ගේ සහෝදරයන්ට එකතු වී, දෙවියන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් අතින් දෙන ලද උන් වහන්සේගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන හැටියටත්, අපේ සමිඳාණන් වහන්සේගේ ආඥා ද විනිශ්චයයන් ද පණත් ද පවත්වා ඉෂ්ට කරන හැටියටත්,</verse>
				<verse number="30">දේශයේ ජාතීන්ට අපේ දූවරුන් නොදෙන හැටියටත්, ඔවුන්ගේ දූවරුන් අපේ පුත්‍රයන්ට නොගන්න හැටියටත්,</verse>
				<verse number="31">දේශයේ ජනයන් විකිණීමට බඩු හෝ ආහාර හෝ සබත් දවසේ ගෙනාවොත් ඒවා සබත් දවසේ වත්, ශුද්ධ දවසක වත් ඔවුන්ගෙන් මිලේට නොගන්න හැටියටත්, හත් වන අවුරුද්දේ පලදාව සහ සියලු ණය ද අත්හරින හැටියටත් සාපයකින් හා දිවුරුමකින් බැඳුණෝ ය.</verse>
				<verse number="32">තවද, අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවයට සබත් දවස්වල ද අමාවක්වල ද පිදීමේ රොටි සඳහාත්, නිරන්තර ආහාර පූජාව සඳහාත්, නිරන්තර දවන යාග පූජාව සඳහාත්, නියම මංගල්‍ය සඳහාත්, ඉශ්රායෙල්වරුන් උදෙසා සමඟි කිරීමේ පාප පූජා සඳහාත්, අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ මුළු වැඩ සඳහාත්, රිදී ග්‍රෑම් පහක් අවුරුදුපතා දෙන ලෙස අපට නියෝග පණවාගතිමු.</verse>
				<verse number="33">***</verse>
				<verse number="34">තවද, ව්‍යවස්ථාවේ ලියා තිබෙන ලෙස අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිට ගිනි දල්වන පිණිස අවුරුද්දෙන් අවුරුද්ද නියම කාලයට අපේ පිය වංශවල ප්‍රකාරයට අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවට දෙන පඬුරු ගෙන ඊම ගැන පූජකයන් ද ලෙවීවරුන් ද සෙනඟ ද වන අපි පස ඇට දැමුවෙමු.</verse>
				<verse number="35">අපේ බිම්වල ප්‍රථම අස්වැන්න ද සියලු ආකාර ගස්වල සියලු පලවලින් ප්‍රථම පල ද අවුරුද්දෙන් අවුරුද්ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන හැටියටත්,</verse>
				<verse number="36">ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන ප්‍රකාරයට අපේ පුත්‍රයන්ගෙන් සහ සිවුපාවුන්ගෙන් කුලුඳුලන් ද අපේ ගවයින්ගෙන් හා බැටළුවන්ගෙන් කුලුඳුලන් ද අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවට එනම්, අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි සේවය කරන පූජකයන් වෙත ගෙනෙන හැටියටත්,</verse>
				<verse number="37">අපේ අනාපු පිටිවලින් ප්‍රථම ඒවා ද අපේ පිළිගැන්වීමේ පූජා ද සියලු ආකාර ගස්වල පල ද මුද්‍රික යුස හා තෙල් ද අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු ගෙවල පූජකයන් වෙත ද අපේ සියලු ගොවිතැන් නුවරවල දසයෙන් කොටසක් ලෙවීවරුන්ට නියම බැවින් අපේ බිම්වල අස්වැන්නෙන් දසයෙන් කොටසක් ලෙවීවරුන් වෙත ද ගෙනෙන හැටියටත්,</verse>
				<verse number="38">ලෙවීවරුන් ඒ කොටස්වලින් දසයෙන් කොටසක් අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවේ ඇතුළු ගෙවලට ගෙනෙන පිණිස දසයෙන් කොටසක් දෙන විට, ආරොන්ගේ පුත්‍රයෙකු වන පූජකයෙකු ඔවුන් සමඟ සිටින හැටියටත් නියම කරගතිමු.</verse>
				<verse number="39">කුමක් නිසාද, ශුද්ධස්ථානයට අයිති භාණ්ඩ තිබෙන, සේවය කරන පූජකයන් ද දොරටු පාලකයන් ද ගායකයන් ද සිටින ඇතුළු ගෙවලට ඉශ්රායෙල්වරුන් ද ලෙවීවරුන් ද ධාන්‍යවලිනුත්, මිදියුසෙනුත්, තෙල්වලිනුත් පිළිගැන්වීමේ පඬුර ගෙනෙන්නට යුතු ය. තවද, අපි අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව අත් නොහරින්නෙමු.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">තවද, සෙනඟගේ අධිපතීහු ජෙරුසලමෙහි වාසය කළෝ ය. සෙසු සෙනඟ තමන් අතරෙන් දසදෙනෙකුගෙන් එක් කෙනෙකු බැගින් ශුද්ධ නුවර වන ජෙරුසලමෙහි වාසය කිරීමට එවන පිණිස පස ඇට දැමුවෝ ය. අනික් කොටස් නුවරවල වාසය කළෝ ය.</verse>
				<verse number="2">ජෙරුසලමෙහි වාසය කිරීමට කැමැත්තෙන් ම පැමිණි සියලු මනුෂ්‍යයන්ට සෙනඟ ආශීර්වාද කළෝ ය.</verse>
				<verse number="3">ජුදාහි නුවරවල ඉශ්රායෙල්වරු ද පූජකයෝ ද ලෙවීවරු ද මාලිගාවේ සේවය කරන්නෝ ද සලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ ද තමන්ගේ නුවරවල තිබුණ තම තමන්ගේ උරුම කොටස්වල වාසය කළෝ ය. ජෙරුසලමෙහි වාසය කළ රටේ ප්‍රධානියෝ නම් මොවුහු ය:</verse>
				<verse number="4">ජුදාවරුන්ගෙන් ද බෙන්ජමින්වරුන්ගෙන් ද සමහරෙක් ජෙරුසලමෙහි වාසය කළෝ ය. ජුදාවරුන් අතරෙන්, පෙරෙශ්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ මහලලේල්ගේ පුත් ෂෙපටියාගේ පුත්‍රයා වන අමරියාගේ පුත් ශෙකරියාගේ පුත්‍රයා වන උස්සියාගේ පුත් අතායා ය.</verse>
				<verse number="5">ෂිලොනියයාගේ පුත් ශෙකරියාගේ පුත්‍රයා වන ජෝයාරීබ්ගේ පුත් ආදායාගේ පුත්‍රයා වන හසායාගේ පුත් කොල්-හෝශෙගේ පුත්‍රයා වන බාරුක්ගේ පුත් මයසේයා ය.</verse>
				<verse number="6">ජෙරුසලමෙහි විසූ පෙරෙශ්ගේ සියලු පුත්‍රයන් වූ වික්‍රමාන්විත මනුෂ්‍යයෝ හාරසිය හැටඅටදෙනෙක් ය.</verse>
				<verse number="7">බෙන්ජමින්වරුන්ගෙන්, ජෙෂායාගේ පුත් ඊතියෙල්ගේ පුත්‍රයා වන මයසේයාගේ පුත් කෝලායාගේ පුත්‍රයා වන පෙදායාගේ පුත් ජෝවෙද්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත් සල්ලු ය.</verse>
				<verse number="8">ඔව්හු ගබ්බයි සහ සල්ලයි ආදි වූ නවසිය විසිඅටදෙනෙක් ය.</verse>
				<verse number="9">සික්රීගේ පුත් ජෝවෙල් ඔවුන්ගේ නායකයා ව සිටියේ ය. හස්සෙනුවාගේ පුත් ජුදා තෙම නගරයේ දෙවැන්නා ව සිටියේ ය.</verse>
				<verse number="10">පූජකයන්ගෙන්, ජෝයාරීබ්ගේ පුත් ජෙදායා ද ජාකීන් ද</verse>
				<verse number="11">දෙවියන් වහන්සේගේ මාලිගාවේ අධිපතියා වූ අහිටුබ්ගේ පුත් මෙරායොත්ගේ පුත්‍රයා වන ශාදොක්ගේ පුත් මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන හිල්කියාගේ පුත් සෙරායා ද</verse>
				<verse number="12">දේව මාලිගාවේ වැඩ කළා වූ ඔවුන්ගේ සහෝදරයන් අටසිය විසිදෙදෙනෙක් ද මල්කියාගේ පුත් පෂ්හුර්ගේ පුත්‍රයා වන ශෙකරියාගේ පුත් අම්ශීගේ පුත්‍රයා වන පෙලලියාගේ පුත් ජෙරොහාම්ගේ පුත්‍රයා වන අදායා ද</verse>
				<verse number="13">පිය වංශවල ප්‍රධානීන් වන ඔහුගේ සහෝදරයන් දෙසිය හතළිස්දෙදෙනෙක් ද ඉම්මෙර්ගේ පුත් මෙෂිල්ලේමොත්ගේ පුත්‍රයා වන ආසයිගේ පුත් අශරියෙල්ගේ පුත්‍රයා වන අමෂ්සයි ද</verse>
				<verse number="14">බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයන් වන ඔවුන්ගේ සහෝදරයන් එකසිය විසිඅටදෙනෙක් ද යන මොවුහු ය. හග්ගෙදෝලීම්ගේ පුත් ශබ්දීයෙල් ඔවුන්ගේ නායකයා ව සිටියේ ය.</verse>
				<verse number="15">ලෙවීවරුන්ගෙන්, බුන්නීගේ පුත් හෂබියාගේ පුත්‍රයා වන අශ්රීකාම්ගේ පුත් හෂ්ෂුබ්ගේ පුත්‍රයා වන ෂෙමායා ද</verse>
				<verse number="16">ලෙවීවරුන්ගේ ප්‍රධානීන්ගෙන්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ දී පිටත කාරණා බලාගන්න ෂබ්බෙතයි ද ජෝෂාබාද් ද</verse>
				<verse number="17">යාච්ඤාවේ දී ස්තුති දීම පටන්ගැනීමට ප්‍රධානියා ව සිටි ආසාප්ගේ පුත්‍රයා වන ශබ්දීගේ පුත් මීකාගේ පුත්‍රයා වන මත්තනියා ද ඔහුගේ සහෝදරයන් අතරේ දෙවැන්නා වන බක්බුකියා ද ජෙදුතුන්ගේ පුත් ගාලාල්ගේ පුත්‍රයා වන ෂම්මුවාගේ පුත් අබ්දා ද යන මොවුහු ය.</verse>
				<verse number="18">ශුද්ධ නුවර සිටි සියලු ලෙවීවරු දෙසිය අසූහතරදෙනෙක් ය.</verse>
				<verse number="19">තවද, දොරටු රැකවල් කළා වූ අක්කුබ් ද ටල්මොන් ද ඔවුන්ගේ සහෝදරයන් වූ දොරටු පාලකයෝ ද එකසිය හැත්තෑදෙදෙනෙක් ය.</verse>
				<verse number="20">සෙසු ඉශ්රායෙල්වරු ද පූජකයෝ ද ලෙවීවරු ද ජුදාහි සියලු නුවරවල එකිනෙකා තම තමාගේ උරුම භූමියෙහි සිටියෝ ය.</verse>
				<verse number="21">එහෙත්, දේව මාලිගාවේ සේවය කරන්නෝ ඕපෙල්හි වාසය කළෝ ය. ශීහා ද ගිෂ්පා ද දේව මාලිගාවේ සේවකයන්ට ප්‍රධානියන් ව සිටියෝ ය.</verse>
				<verse number="22">ජෙරුසලමෙහි සිටි ලෙවීවරුන්ගේ නායකයා නම්, ගායකයන් වන ආසාප්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වන මීකාගේ පුත් මත්තනියාගේ පුත්‍රයා වන හෂබියාගේ පුත් බානීගේ පුත්‍රයා වන උස්සී ය. ඔහු දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩපළට පත් ව සිටියේ ය.</verse>
				<verse number="23">කුමක් නිසාද, ගායකයන් ගැන රජුගේ ආඥාවක් තිබුණේ ය. ඔවුන් උදෙසා දවස් පතා වුවමනා වූ කොටසක් ද නියම කර තිබුණේ ය.</verse>
				<verse number="24">ජුදාගේ පුත්‍රයා වන ශෙරාගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වන මෙෂේශබෙල්ගේ පුත්‍රයා වන පෙතහියා සෙනඟගේ සියලු කාරණා ගැන රජු වෙත සිටියේ ය.</verse>
				<verse number="25">තමන්ගේ කෙත් ළඟ පිහිටි ගම්වල බොහෝ දෙන විසූ හ. ජුදාවරුන්ගෙන් සමහරෙක් කිරියත්-අර්බා, දිබොන්, ජෙකබ්ශෙයෙල් සහ ඒවායේ ගම්වල ද</verse>
				<verse number="26">ජේෂුවාහි ද මොලාදාහි ද බෙත්-පෙලෙත්හි ද</verse>
				<verse number="27">හශර්-ෂුවාල්හි ද බෙයර්-ෂෙබාහි සහ ඒවායේ ගම්වල ද</verse>
				<verse number="28">ශික්ලග්හි ද මෙකොනාහි සහ ඒවායේ ගම්වල ද</verse>
				<verse number="29">ඒන්-රිම්මෝන්හි ද ශොරාහි ද ජර්මුත්හි ද</verse>
				<verse number="30">ශානොවාහි ද අදුල්ලාම්හි සහ ඒවායේ ගම්වල ද ලාකීෂ්හි සහ එහි කෙත්වල ද අශේකාහි සහ එහි ගම්වල ද විසූ හ. මෙසේ ඔව්හු බෙයර්-ෂෙබා සිට හින්නොම්ගේ මිටියාවත දක්වා කූඩාරම් ගසාගත්තෝ ය.</verse>
				<verse number="31">බෙන්ජමින්වරුන් ගෙබාහි සිට මික්මාෂ්හි ද අයියාහි ද බෙතෙල්හි ද ඒවායේ ගම්වල ද;</verse>
				<verse number="32">අනාතොත්හි ද නොබ්හි ද අනනියාහි ද;</verse>
				<verse number="33">හශොර්හි ද රාමාහි ද ගිත්තයිම්හි ද;</verse>
				<verse number="34">හාදීද්හි ද ශෙබොයිම්හි ද නෙබල්ලාට්හි ද;</verse>
				<verse number="35">කර්මාන්තකාරයන්ගේ මිටියාවතේ තිබෙන ලොද්හි ද ඕනෝහි ද විසුවෝ ය.</verse>
				<verse number="36">ජුදාහි විසූ ලෙවීවරුන්ගෙන් ද සමහර පන්ති බෙන්ජමින්වරුන් සමඟ සිටියෝ ය.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් ද ජේෂුවා ද සමඟ පැමිණි පූජකයෝත් ලෙවීවරුත් මොවුහු ය;</verse>
				<verse number="2">සෙරායා, ජෙරමියා, එස්රා, අමරියා, මල්ලූක්, හට්ටුෂ්;</verse>
				<verse number="3">ෂෙකනියා, රෙහුම්, මෙරේමොත්;</verse>
				<verse number="4">ඉද්දෝ, ගින්නෙතොන්, අබියා;</verse>
				<verse number="5">මියාමින්, මයදියා, බිල්ගා;</verse>
				<verse number="6">ෂෙමායා, ජෝයාරීබ්, ජෙදායා;</verse>
				<verse number="7">සල්ලු, ආමොක්, හිල්කියා සහ ජෙදායා ය. මොවුහු ජේෂුවාගේ දවස්වල දී පූජකයන්ගෙන් ද ඔවුන්ගේ සහෝදරයන්ගෙන් ද ප්‍රධානියන් ව සිටියෝ ය.</verse>
				<verse number="8">තවද, ලෙවීවරු නම්: ජේෂුවා, බින්නුයි, කද්මියෙල්, ෂේරෙබියා, ජුදා සහ මත්තනියා ය. ඔවුහුත්, ඔවුන්ගේ සහෝදරයෝත් ස්තුති ගායනා කණ්ඩායම්වලට පත් ව සිටියෝ ය.</verse>
				<verse number="9">තවද, ඔවුන්ගේ සහෝදරයන් වන බක්බුකියා ද උන්නෝ ද ඔවුන් ඉදිරිපිට වාර පිළිවෙළින් සිටියෝ ය.</verse>
				<verse number="10">ජේෂුවාට දාව ජෝයාකීම් උපන්නේ ය. ජෝයාකීම්ට දාව එලියාෂිබ් උපන්නේ ය. එලියාෂිබ්ට දාව ජෝයාදා උපන්නේ ය.</verse>
				<verse number="11">ජෝයාදාට දාව ජොනතන් උපන්නේ ය. ජොනතන්ට දාව ජද්දුවා උපන්නේ ය.</verse>
				<verse number="12">ජෝයාකීම්ගේ දවස්වල පිය පෙළපත් ප්‍රධානියන් වූ පූජකයෝ නම්: සෙරායාගෙන් මෙරායා ය; ජෙරමියාගෙන් හනනියා ය;</verse>
				<verse number="13">එස්රාගෙන් මෙෂුල්ලාම් ය; අමරියාගෙන් ජෙහෝහානාන් ය.</verse>
				<verse number="14">මල්ලූකීගෙන් ජොනතන් ය; ෂෙබනියාගෙන් ජෝසෙප් ය;</verse>
				<verse number="15">හාරීම්ගෙන් අද්නා ය; මෙරායොත්ගෙන් හෙල්කයි ය;</verse>
				<verse number="16">ඉද්දෝගෙන් ශෙකරියා ය; ගින්නෙතොන්ගෙන් මෙෂුල්ලාම් ය;</verse>
				<verse number="17">අබියාගෙන් සික්රී ය; මිනියාමින්ගෙන් මොවාදියාගේ පිල්ටයි ය;</verse>
				<verse number="18">බිල්ගාගෙන් ෂම්මුවා ය; ෂෙමායාගෙන් ජෙහෝනාතාන් ය;</verse>
				<verse number="19">ජෝයාරීබ්ගෙන් මත්තෙනයි ය; ජෙදායාගෙන් උශ්ශී ය;</verse>
				<verse number="20">සල්ලයිගෙන් කල්ලයි ය; ආමොක්ගෙන් ඒබෙර් ය;</verse>
				<verse number="21">හිල්කියාගෙන් හෂබියා ය; ජෙදායාගෙන් නෙතෙනේල් ය.</verse>
				<verse number="22">එලියාෂිබ්ගේ ද ජෝයාදාගේ ද ජෝහානාන්ගේ ද ජද්දුවාගේ ද දවස්වල ලෙවීවරුන්ගේ පිය පෙළපත් ප්‍රධානියෝ ලියාපදිංචි කරනු ලැබුවෝ ය. පූජකයෝත් පර්සියාවේ දාරියුස්ගේ රජ කාලය දක්වා එසේ වූ හ.</verse>
				<verse number="23">පිය පෙළපත්වල ප්‍රධානියන් වූ ලෙවීගේ පුත්‍රයෝ එලියාෂිබ්ගේ පුත් ජෝහානාන්ගේ දවස් දක්වා ම ලේකම් පොතෙහි ලියවුණෝ ය.</verse>
				<verse number="24">ලෙවීවරුන්ගේ ප්‍රධානියන් වූ හෂබියා, ෂේරෙබියා සහ කද්මියෙල්ගේ පුත් ජේෂුවා ද තමන්ගේ සහෝදරයන් ඉදිරිපිට ඇති ව දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා වූ දාවිත්ගේ අණ ලෙස ස්තුති ප්‍රශංසා කිරීමට මාරුවෙන් මාරුවට සිටියෝ ය.</verse>
				<verse number="25">මත්තනියා ද බක්බුකියා ද ඔබදියා ද මෙෂුල්ලාම් ද ටල්මොන් ද අක්කුබ් ද දොරටු ගබඩාවල දොරටු පාලකයන් ව සිට රැකවල් කළෝ ය.</verse>
				<verse number="26">මොවුහු ජොශාදාක්ගේ පුත් ජේෂුවාගේ පුත්‍රයා වන ජෝයාකීම්ගේ දවස්වල දිශාධිපතියා වන නෙහෙමියාගේත්, නීතිවේදියා වන පූජක එස්රාගේත් දවස්වල ද සිටියෝ ය.</verse>
				<verse number="27">ජෙරුසලමේ පවුර කැප කිරීමේ දී ප්‍රීති ප්‍රමෝදයෙන් ද ස්තුති කිරීමෙන් ද ගීතිකා කිරීමෙන් ද අත්තල්වලින් ද වීණා හා මහා වීණාවලින් ද කැප කිරීමේ උත්සවය පවත්වන පිණිස ලෙවීවරු විසූ සෑම තැන්වලින් ඔවුන් සොයාගෙන ජෙරුසලමට ගෙනෙන ලදහ.</verse>
				<verse number="28">එවිට ගායකයන් වූ ලෙවීවරු ජෙරුසලම අවට ප්‍රදේශයෙනුත්, නෙටොපාතිවරුන්ගේ ගම්වලිනුත්,</verse>
				<verse number="29">බෙත්-ගිල්ගාලෙනුත්, ගෙබාහි ද අශ්මාවෙත්හි ද ගම්වලිනුත් රැස් වූ හ. ගායකයෝ ජෙරුසලම අවට ගම් සාදාගෙන සිටියෝ ය.</verse>
				<verse number="30">පූජකයෝත් ලෙවීවරුත් පවිත්‍ර වී, සෙනඟ ද දොරටු ද පවුර ද පවිත්‍ර කළෝ ය.</verse>
				<verse number="31">එවිට මම ජුදාහි අධිපතීන් පවුර පිටට නඟින්නට සලස්වා, ස්තුති කිරීමටත්, පෙරහරින් යාමටත් මහා කණ්ඩායම් දෙකක් නියම කෙළෙමි. එයින් එකක් දකුණට පවුර පිට කසළ දොරටුව දෙසට ගියේ ය.</verse>
				<verse number="32">ඔවුන් පස්සේ හෝෂායා ද ජුදාහි අධිපතීන්ගෙන් භාගයක් ද</verse>
				<verse number="33">අශරියා ද එස්රා ද මෙෂුල්ලාම් ද</verse>
				<verse number="34">ජුදා සහ බෙන්ජමින් ද ෂෙමායා ද ජෙරමියා ද</verse>
				<verse number="35">නළා ඇති ව, පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් එනම්, ආසාප්ගේ පුත් ශක්කුර්ගේ පුත්‍රයා වන මීකායාගේ පුත් මත්තනියාගේ පුත්‍රයා වන ෂෙමායාගේ පුත් ජොනතන්ගේ පුත්‍රයා වන ශෙකරියා සහ</verse>
				<verse number="36">දෙවියන් වහන්සේට කැප මනුෂ්‍යයා වූ දාවිත්ගේ තූර්ය භාණ්ඩ ඇති ව, ඔහුගේ සහෝදරයන් වන ෂෙමායා ද අශරියෙල් ද මිලලයි ද ගිලලයි ද මායයි ද නෙතනේල් ද ජුදා ද හනානි ද ඔවුන්ට පෙරටුවෙන් සිටි නීතිවේදී එස්රා ද ගියෝ ය.</verse>
				<verse number="37">ඔව්හු උල්පත් දොරටුව ළඟින් ද තමන් ඉදිරිපිට ද තිබුණු දාවිත්ගේ නිවෙසට ඉහළින් පවුරට නැඟුමෙහි දාවිත්ගේ නගරයේ පඩිවලින් නැඟී නැගෙනහිරට තිබෙන වතුර දොරටුව ළඟට ගියෝ ය.</verse>
				<verse number="38">අනික් පැත්තට දෙ වන ගායක කණ්ඩායම ද ඔවුන් පස්සේ සෙනඟගෙන් භාගයක් ද මම ද පවුර පිට මුදුන් කොත උඩින් පළල් පවුර දක්වාත්,</verse>
				<verse number="39">එප්‍රායිම් දොරටුව උඩිනුත්, පුරාණ දොරටුව ළඟිනුත්, මත්ස්‍ය දොරටුව ද හනනේල්ගේ කොත සහ හම්මෙයාගේ කොත ළඟිනුත් බැටළු දොරටුව දක්වා ගොස් මුර දොරටුව ළඟ නැවතුණෙමු.</verse>
				<verse number="40">මෙසේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගායක කණ්ඩායම් දෙක ද මා සමඟ මුලාදෑනීන්ගෙන් කොටසක් ද නළා ඇති ව</verse>
				<verse number="41">එලියාකිම්, මයසේයා, මිනියාමින්, මීකායා, එලියෝයේනයි, ශෙකරියා, හනනියා යන පූජකයෝ ද;</verse>
				<verse number="42">මයසේයා, ෂෙමායා, එලෙයාසර්, උශ්ශී, ජෙහෝහානාන්, මල්කියා, ඒලාම්, ඒශෙර් යන මොවුහු ද මම ද සිටියෙමු. ජෙශ්‍රාහියා තමන්ගේ ප්‍රධානියා වශයෙන් ඇති ව ගීතිකාකාරයෝ ශබ්ද නඟා ගායනා කළෝ ය.</verse>
				<verse number="43">එදා ඔව්හු මහා පූජා ඔප්පු කොට ප්‍රීති වූ හ. මන්ද, දෙවියන් වහන්සේ ඔවුන්ට අතිශයින් ප්‍රීති ප්‍රමෝද වන්නට සැලැසූ සේක. ස්ත්‍රීහු ද දරුවෝ ද ප්‍රීති වූ හ. මෙසේ ජෙරුසලමේ ප්‍රීති ඝෝෂාව දුරට ඇසුණේ ය.</verse>
				<verse number="44">ඒ දවසේ පූජකයන්ටත්, ලෙවීවරුන්ටත් ව්‍යවස්ථාවෙන් නියම වූ කොටස් නගර ආසන්න කෙත්වල ප්‍රමාණයේ හැටියට ගබඩාවල රැස් කර තබන පිණිස, ඒවා කෙරෙහි පිළිගැන්වීමේ පූජා ද ප්‍රථම පල ද දසයෙන් එක ද සම්බන්ධ ව පාලනය කිරීමට මනුෂ්‍යයෝ පත් වූ හ. මන්ද සේවය කරමින් සිටි පූජකවරු ද ලෙවීවරු ද ගැන ජුදාවරු සතුටු ව සිටියෝ ය.</verse>
				<verse number="45">ඔව්හු ද ගායකයෝ ද දොරටු පාලකයෝ ද දාවිත්ගේ සහ ඔහුගේ පුත් සලමොන්ගේ ආඥාව ලෙස තමන්ගේ දෙවියන් වහන්සේට නියම පූජා විධි ද පවිත්‍ර වීම පිළිබඳ නියම වත්පිළිවෙත් ද පැවැත්වූ හ.</verse>
				<verse number="46">මන්ද, පෙර දාවිත්ගේ ද ආසාප්ගේ ද කාලයේ පටන් ගායකයන්ගේ ප්‍රධානියෙක් සිටියේ ය. එපමණක් නොව දෙවියන් වහන්සේට තුති පැසසුම් ගී ද ගයනු ලැබී ය.</verse>
				<verse number="47">සියලු ම ඉශ්රායෙල්වරු ද සෙරුබ්බාබෙල්ගේ දවස්වලත්, නෙහෙමියාගේ දවස්වලත් දිනපතා ගායකයන්ගේත්, දොරටු පාලකයන්ගේත් කොටස් සහ ලෙවීවරුන්ට කැප කළ යුතු දේත් දුන්හ. ලෙවීවරු ද ආරොන්ගේ පුත්‍රයන්ට කැප කළ යුතු දේ දුන්හ.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">ඒ දවසේ සෙනඟ ඉදිරියෙහි මෝසෙස්ගේ පොත කියවද්දී, අම්මොනි ජාතිකයන් ද මෝවබ් ජාතිකයන් ද රොටි සහ වතුර රැගෙන ඉශ්රායෙල් පුත්‍රයන්ගේ පෙරමඟට නෑවිත් ඔවුන්ට සාප කරන පිණිස බාලාම් කුලියට ගත් නිසා,</verse>
				<verse number="2">අම්මොනි ජාතිකයෙක් වත්, මෝවබ් ජාතිකයෙක් වත්, දෙවියන් වහන්සේගේ සභාවට කිසි කලෙක ඇතුළු නොවන්නේ ය කියා ලියා තිබෙනවා සම්බ විය. ඒ සාපය අපේ දෙවියන් වහන්සේ ආශීර්වාදයකට හැරෙවූ සේක.</verse>
				<verse number="3">සෙනඟ මේ නියෝගය ඇසූ විට ඔව්හු මිශ්‍ර විවාහයෙන් පැවත ආ අය ඉශ්රායෙල් සෙනඟගෙන් වෙන් කළහ.</verse>
				<verse number="4">මීට පෙර අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩා බාර ව සිටි පූජක එලියාෂිබ් ටෝබියාට විවාහයෙන් නෑකමක් ඇති ව සිටියේ ය.</verse>
				<verse number="5">ඔහු ටෝබියාට විශාල කාමරයක් සකස් කර දී තිබිණි. කලින් ඒ කාමරයේ ආහාර පූජා ද තුවරලා ද භාණ්ඩ ද ලෙවීවරුන්ගේත්, ගීතිකාකාරයන්ගේත්, දොරටු පාලකයන්ගේත් නියම කොටස වූ ධාන්‍යයෙන් සහ මිදි යුසෙනුත්, තෙලිනුත් දසයෙන් කොටස ද පූජකයන්ට ලැබෙන පිළිගැන්වීමේ පූජා ද තැන්පත් කර තිබිණි.</verse>
				<verse number="6">මේ මුළු කාලයේ දී මම ජෙරුසලමෙහි නොසිටියෙමි. කුමක් නිසාද බබිලෝනියේ රජ වූ අර්තක්ෂස්තාගේ තිස් දෙ වන අවුරුද්දේ දී මා රජු වෙත ගිය බැවිනි. ටික කලකට පසු මම රජුගෙන් අවසර ලැබගෙන</verse>
				<verse number="7">ජෙරුසලමට පෙරළා පැමිණියෙමි. එවිට, එලියාෂිබ් දෙවියන් වහන්සේගේ මාලිගාවේ මළුවල ටෝබියා උදෙසා කාමරයක් සකස් කර දීමෙන් ඔහු කළ ඒ නපුරු දේ ගැන දැනගතිමි.</verse>
				<verse number="8">මම ඊට අතිශයින් කිපී ටෝබියාගේ කාමරයෙහි තිබුණු බඩු භාණ්ඩ සියල්ල පිටතට වීසි කෙළෙමි.</verse>
				<verse number="9">ඉන්පසු ඒ කාමරය පිරිසිදු කරන ලෙස ද දෙවියන් වහන්සේගේ මාලිගාවේ භාණ්ඩ ද ආහාර පූජා ද තුවරලා ද නැවත එහි තබන ලෙස ද අණ කෙළෙමි.</verse>
				<verse number="10">ලෙවීවරුන්ට හිමි කොටස් ඔවුන්ට නොදී තිබුණු බව ද කටයුතු බාර ව සිටි ලෙවීවරුන් ද ගීතිකාකාරයන් ද තම තමන්ගේ කෙත්වලට පලා ගිය බව ද මට දැනගන්නට ලැබිණි.</verse>
				<verse number="11">ඒ නිසා නිලධාරීන්ට කතා කර, “දෙවියන් වහන්සේගේ මාලිගාව පාළු වී ඇත්තේ මන් ද?” කියා තරවටු කෙළෙමි. මම ඔවුන් රැස් කරවා, ඔවුන්ගේ තනතුරුවලට ඔවුන් පත් කෙළෙමි.</verse>
				<verse number="12">එවිට සියලු ජුදාවරු ධාන්‍යයෙනුත්, මිදි යුසෙනුත්, තෙල්වලිනුත් දසයෙන් කොටස ගබඩාවලට ගෙනාවෝ ය.</verse>
				<verse number="13">මම ඒ ගබඩා පූජක වූ ෂෙලෙමියාට ද ලේකම්වරයා වූ ශාදොක්ට ද ලෙවීවරුන්ගෙන් පෙදායාට ද ඔවුන්ගේ සහකාර මත්තනියාගේ පුත් ශක්කුර්ගේ පුත් හනාන්ට ද බාර කෙළෙමි. කුමක් නිසාද, ඔව්හු විශ්වාස අය ලෙස සලකන ලද්දෝ ය. තමන්ගේ සහෝදරයන්ට හිමි කොටස් බෙදා දීම ඔවුන්ගේ යුතුකම විය.</verse>
				<verse number="14">“මාගේ දෙවියන් වහන්ස, මා කළ මේ දේ සිහි කළ මැනව. මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා ද එහි නමස්කාරය උදෙසා ද මා කළ යහපත් ක්‍රියා අමතක නොකළ මැනව.”</verse>
				<verse number="15">ඒ දවස්වල දී ජුදාහි සමහරුන් සබත් දවසේ මුද්‍රික යන්ත්‍රය පාගන බවත්, ගොයම් මිටි ගෙනවුත් ඒවා සහ මුද්‍රික පානය ද මිදි වලු ද අත්තික්කා පල ද සියලු ආකාර බර ද කොටළුවන් පිට පටවාගෙන සබත් දවසේ දී ජෙරුසලමට ගෙනෙන බවත් මම දිටිමි. එහෙයින් සබත් දවසේ දී කිසිවක් නොවිකුණන ලෙස මම තරයේ කියා සිටියෙමි.</verse>
				<verse number="16">ජෙරුසලමේ විසූ තීර්වරු මාළු සහ සියලු ආකාර බඩු ගෙනවුත් ජුදාහි සෙනඟට පමණක් නොව, ජෙරුසලමෙහිත් සබත් දවසේ දී වික්කෝ ය.</verse>
				<verse number="17">එබැවින් මම ජුදාහි උත්තමයන්ට තරවටු කරමින්, “සබත් දවස කෙලෙසා, ඔබ කරන මේ නපුරු ක්‍රියාවේ තේරුම කුමක් ද?</verse>
				<verse number="18">ඔබේ පියවරුන් මෙසේ කළ බැවින් අපේ දෙවියන් වහන්සේ මේ සියලු විපත්ති අප පිටත්, මේ නුවර පිටත් පැමිණෙවුවා නොවේ ද? එසේ වී නමුත්, ඔබ සබත් දවස කෙලෙසමින් ඉශ්රායෙල්වරුන් කෙරෙහි දේව උදහස වැඩිකරන්නහු ය”යි ඔවුන්ට කීවෙමි.</verse>
				<verse number="19">තවද, මම සබත් දවසට පෙර ජෙරුසලමේ දොරටුවලට අඳුර වැටෙන කල දොරටු වසා තබන්නටත්, සබත් දවස පසු වන තුරු ඒවා නාරින්නටත් අණ කර, සබත් දවසේ කිසි බරක් ඇතුළට නොගෙනෙන පිණිස මාගේ මෙහෙකරුවන්ගෙන් සමහරෙකු දොරටු ළඟ සිටෙවුවෙමි.</verse>
				<verse number="20">ඒ නිසා වෙළෙන්දෝ ද සියලු ආකාර බඩු විකුණන්නෝ ද වරක් දෙවරක් ජෙරුසලමෙන් පිට නැවතුණෝ ය.</verse>
				<verse number="21">මම ඔවුන්ට තරවටු කොට, “ඔබ පවුර ළඟ නවතින්නේ මන් ද? ඔබ නැවත එසේ කළොත් ඔබට දඬුවම් කරන්නෙමි”යි ඔවුන්ට කීවෙමි. එතැන් පටන් ඔවුන් සබත් දවසේ දී නගරයට ආවේ නැත.</verse>
				<verse number="22">තවද, සබත් දවස ශුද්ධ ලෙස පවත්වන පිණිස පිරිසිදු වී අවුත්, දොරටු රැකවල් කරන ලෙස මම ලෙවීවරුන්ට අණ කෙළෙමි. “මාගේ දෙවියන් වහන්ස, මේ නිසාත් මා සිහි කර ඔබේ ඉමහත් කරුණාව පරිද්දෙන් මට දයා වී වදාළ මැනව.”</verse>
				<verse number="23">ඒ දවස්වල දී සමහර ජුදාවරුන් අෂ්දොද්හි ද අම්මොන්හි ද මෝවබ්හි දී ස්ත්‍රීන් පාවාගෙන සිටිනු මම දුටුවෙමි.</verse>
				<verse number="24">ඔවුන්ගේ දරුවන්ගේ සංබ්‍යාවෙන් අඩක් අෂ්දොද් භාෂාව හෝ අන් ජාතීන්ගේ භාෂා හෝ කතා කළෝ ය. ජුදාවේ භාෂාව කතා කරන්න ඔව්හු නොදත්හ.</verse>
				<verse number="25">මම ඔවුන්ට තරවටු කර, සාප කර, ඔවුන්ගෙන් සමහරෙකුට ගසා, ඔවුන්ගේ හිසකේ උගුලා, “ඔබේ දූවරු ඔවුන්ගේ පුත්‍රයන්ට පාවාදෙන්න වත් ඔබේ පුත්‍රයන් හෝ ඔබ ඔවුන්ගේ දූවරුන් පාවාගන්න වත් එපාය” කියා දෙවියන් වහන්සේ නමින් දිවුරන්නට සැලැසුවෙමි.</verse>
				<verse number="26">මම ඔවුන් අමතා මෙසේ කීවෙමි: “ඉශ්රායෙල් රජු වූ සලමොන් මේ දේ කිරීමෙන් පව් කළා නොවේ ද? බොහෝ ජාතීන් අතරේ ඔහුට සමාන රජෙක් සිටියේ නැත; ඔහුගේ දෙවියන් වහන්සේ ද ඔහුට ප්‍රේම කොට මුළු ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් ඔහු පත් කළ සේක. එසේ වී නමුත්, ඔහු පවා අන්‍ය ජාතික ස්ත්‍රීන් විසින් පාපයට පොළඹවන ලදී.</verse>
				<verse number="27">එසේ නම්, ඔබත් ඔහුගේ ආදර්ශය අනුගමනය කරමින්, අන්‍ය ජාතික ස්ත්‍රීන් පාවාගැනීමෙන් මේ මහා නපුරු ක්‍රියාව කර, අපත් අපේ දෙවියන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිවිය යුතු ද?”</verse>
				<verse number="28">උත්තම පූජක වූ එලියාෂිබ්ගේ පුත්‍රයා වන ජෝයාදාගේ පුත්‍රයෙකු හොරොනීය ජාතික සන්බලට්ට බෑණා ව සිටිය නිසා ඔහු මා වෙතින් එළෙව්වෙමි.</verse>
				<verse number="29">“මාගේ දෙවියන් වහන්ස, ඔවුන් පූජක තනතුර ද පූජකකමේත්, ලෙවීවරුන්ගේත් ගිවිසුම ද අපිරිසිදු කළ හැටි සිහි කළ මැනව.”</verse>
				<verse number="30">මෙසේ මම විදේශික වන සියල්ලෙන් ඔවුන් පිරිසිදු කර, පූජකයන්ගේත්, ලෙවීවරුන්ගේත් කටයුතු එකිනෙකාට බාර වූ අන්දමට නියම කෙළෙමි.</verse>
				<verse number="31">තවද, නියම කාලවලට දර, පඬුරු හා ප්‍රථම පල ද ගෙන ඊම පිළිබඳ විධිවිධාන සැලැසුවෙමි. “මාගේ දෙවියන් වහන්ස, මාගේ යහපත පිණිස මා සිහි කළ මැනව.”</verse>
			</chapter>
		</book>
		<book number="17">
			<chapter number="1">
				<verse number="1">ඉන්දියාවේ පටන් එතියෝපියාව දක්වා රටවල් එකසිය විසිහතක රජකම් කළ අහෂ්වේරොෂ්ගේ දවස්වල දී සිදු වූ සිදුවීම් මෙහි විස්තර කර ඇත. ඒ කාලයේ දී ඔහු සූසා නම් අගනුවර සිංහාසනාරූඪ ව සිටියේ ය.</verse>
				<verse number="2">අහෂ්වේරොෂ් රජුගේ රාජ්‍ය සමයේ තුන් වන අවුරුද්දේ දී ඔහු තමාගේ සියලු අධිපතීන්ට ද විධායකයින්ට ද මංගල භෝජනයකින් සංග්‍රහ කෙළේ ය.</verse>
				<verse number="3">පර්සියාවේ හා මේදියාවේ හමුදාවල අධිපතීහු ද ප්‍රාදේශීය ආණ්ඩුකාරයෝ හා ප්‍රභූවරයෝ ද ඒ අවස්ථාවේ දී පැමිණ සිටියහ.</verse>
				<verse number="4">එකල්හි ඔහු තමාගේ රාජ්‍යයේ යස ඉසුර ද තමාගේ මහිමශ්‍රීයේ තේජස හා අලංකාරය ද බොහෝ දවස් එනම්, දවස් එකසිය අසූවක් මුළුල්ලේ ප්‍රදර්ශනය කෙළේ ය.</verse>
				<verse number="5">මේ කාලය අවසන් වූ විට රජ තෙමේ සූසා නම් අගනුවර සිටි ලොකු කුඩා සියලු දෙනාට රාජ මාලිගා උයනේ වූ මළුවෙහි සත් දවසක් මුළුල්ලේ මංගල්‍ය භෝජනයක් දුන්නේ ය.</verse>
				<verse number="6">එහි සුදු හා දම් පාට තිර, සිහින් හණ ලණුවලිනුත්, රත්නිල් ලණුවලිනුත්, රිදී මුදුවලට සවි කර, කිරිගරුඬ කුළුණුවලට බැඳ තිබිණි. එහි රතු, සුදු, කහ, කළු යන පාට ඇති මැණික් ගල් අල්ලන ලද බිමක් මත රන් රිදී යහන් විය.</verse>
				<verse number="7">ඔවුන්ට බොන්න දුන්නේ රන් කුසලාන්වලින් ය. කුසලාන් ද එකිනෙකට වෙනස් විය. රජුගේ ත්‍යාගවන්තකමට සරිලන ලෙස රාජකීය මුද්‍රික පානය බොහෝ සෙයින් තිබිණි.</verse>
				<verse number="8">කිසිවෙකුට බල නොකළ යුතු ය යනු බීම සම්බන්ධයෙන් වූ නියෝගය වේ. එකිනෙකාගේ කැමැත්ත පරිදි කරන ලෙස රජු තමාගේ මාලිගාවේ සියලු මුලාදෑනීන්ට නියම කර තිබුණේ ය.</verse>
				<verse number="9">ඒ අතරතුර, වස්තී බිසව ද අහෂ්වේරොෂ් රජුට අයිති මාලිගාවේ දී ස්ත්‍රීන්ට මංගල්‍ය භෝජනයක් දුන්නා ය.</verse>
				<verse number="10">සත් වන දා රජුගේ සිත මුද්‍රික පානයෙන් පිනාගිය විට, අහෂ්වේරොෂ් රජ තමාට සේවය කළ මෙහුමාන් ද බිශ්තා ද හර්බෝනා ද බිග්තා ද අබගතා ද සේතර් ද කර්කස් ද යන නපුංසකයන් සත් දෙනා කැඳවී ය.</verse>
				<verse number="11">වස්තී බිසව ඉතා සුරූපී නිසා ඇගේ අලංකාරය සිය සෙනඟටත්, අධිපතීන්ටත් පෙන්වන පිණිස ඇගේ රාජකීය කිරීටය ද පළඳවාගෙන ඈ තමා ඉදිරිපිටට කැඳවාගෙන එන්නට රජ ඔවුන්ට අණ කෙළේ ය.</verse>
				<verse number="12">එහෙත්, නපුංසකයන් අත රජු කියා යැවූ අණට කීකරු ව රජු වෙත එන්නට වස්තී බිසව අකමැති වූවා ය. එබැවින් රජ තෙමේ තදින් කිපිණි. ඔහු කෝපාග්නියෙන් දැවිණි.</verse>
				<verse number="13">එවිට රජ තෙමේ නීතිය හොඳින් දත් නැණවතුන්ට කතා කෙළේ ය. එසේ කෙළේ, නීතියත්, ආගමත් පිළිබඳ කටයුතු මනා ලෙස දත් සියලු දෙනාගෙන් කරුණු විමසීම රජුගේ පුරුද්ද වී තිබුණ බැවිනි.</verse>
				<verse number="14">මොවුන් අතරෙන් රජුට ඉතා හිතවත් වූ ද රජු ඉදිරියට නිදහසේ පැමිණීමේ වරය ලද්දා වූ ද අය නම්, පර්සියාවේ ද මේදියාවේ ද අධිපතීන් සත් දෙනා වන කර්ෂෙනා, ෂේතාර්, අද්මාතා, තර්ෂිෂ්, මෙරෙස්, මර්සේනා සහ මෙමුකාන් ය.</verse>
				<verse number="15">රජ ඔවුන් අමතා, “නපුංසකයන් අත රජු කියා යැවූ අණට කීකරු නොවූ වස්තී බිසවට නීත්‍යනුකූල ව කුමක් කළ යුතු දැ”යි ඇසී ය.</verse>
				<verse number="16">රජු ද අධිපතීන් ද ඉදිරියෙහි මෙමුකාන් පිළිතුරු දෙමින්, “වස්තී බිසව රජුට පමණක් නොව සියලු අධිපතීන්ටත්, අහෂ්වේරොෂ් රජුගේ සියලු රටවල සිටින සියලු ම ජාතීන්ටත් වරදක් කර ඇත.</verse>
				<verse number="17">මන්ද, බිසවගේ මේ ක්‍රියාව සියලු ස්ත්‍රීන්ට සැළ වුණ විට, ‘අහෂ්වේරොෂ් රජතුමා ඉදිරියට වස්තී බිසව කැඳවාගෙන එන්නට අණ කළ නමුත් ඈ නොපැමිණියා ය’යි ඔවුන් කියා තමන්ගේ පුරුෂයන් සුළු කොට සිතනු ඇත.</verse>
				<verse number="18">පර්සියාවේ ද මේදියාවේ ද වංශවත් ස්ත්‍රීන්ට බිසවගේ ක්‍රියාව ගැන සැළ වුණු විට, රජුගේ සියලු අධිපතීන්ට එපවත් අද දවසේ දී ම කියනු ඇත. ඒ හේතුවෙන් අපහාස ද උදහස ද බොහෝ සෙයින් හට ගනු ඇත.</verse>
				<verse number="19">රජතුමෙනි, ඔබ සතුටු නම්, වස්තී තවත් අහෂ්වේරොෂ් රජු ඉදිරියට නොඑන ලෙස රජ්ජුරුවන්ගෙන් රාජ ආඥාවක් පතළ කළ මැනව. එය වෙනස් නොවන පිණිස පර්සිවරුන්ගේ ද මේදවරුන්ගේ ද නීති ග්‍රන්ථවල ලියා තබන්නට සැලැසුව මැනව. ඇගේ අගබිසෝකම ද ඈට වඩා සුදුසු තැනැත්තියකට රජ්ජුරුවන් විසින් දෙනු ලැබේ වා!</verse>
				<verse number="20">විශාල වූ ස්වකීය රාජ්‍යය මුළුල්ලෙහි රජතුමා පණවන නියෝගය ඇසූ කල්හි සියලු ම භාර්යාවන් තම තමන්ගේ පුරුෂයෝ උසස් හෝ පහත් හෝ වෙත්වා, ඔවුන්ට ගෞරව දෙනු ඇතැ”යි කීවේ ය.</verse>
				<verse number="21">ඒ කීමට රජ ද අධිපතීහු ද ප්‍රසන්න වූ හ. රජතුමා මෙමුකාන්ගේ කීම ලෙස කරමින්,</verse>
				<verse number="22">හැම පුරුෂයෙකු ම තමාගේ ගෙදර ප්‍රධානියා විය යුතු ය කියා තමාගේ සෙනඟගේ භාෂාවෙන් ද එක එක රටේ අකුරුවලින් ද ඒ ඒ සෙනඟගේ භාෂාවෙන් ද ප්‍රකාශ කරන හැටියට ලියුම් ලියා යැවී ය.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">මේ සිද්ධියට පසු, අහෂ්වේරොෂ්ගේ කෝපය සංසිඳුණු කල්හි, ඔහු වස්තී සහ ඈ කළ දේ ද ඈට විරුද්ධ ව කළ නියමය ද සිහිපත් කෙළේ ය.</verse>
				<verse number="2">එවිට රජුට සේවය කළ ඔහුගේ මෙහෙකරුවෝ කතා කොට, “රූපසම්පන්න කන්‍යාවන් රජුට සොයනු මැනව.</verse>
				<verse number="3">එබඳු රූපසම්පන්න සියලු කන්‍යාවන් සූසා අගනුවර ඇති අන්තඃපුරයට ගෙනෙනු ලබන පිණිස රාජ්‍යයේ සියලු ප්‍රදේශවල නිලධාරීන්ට රජු විසින් නියම කරනු ලැබේවා. ස්ත්‍රීන් භාර ව සිටින්නා ද රජවරුන්ගේ නපුංසකයා ද වන හෙගයිගේ රැකවරණයට ඔවුන් භාර කරනු මැනව. ඒ කාන්තාවන්ට ඔවුන්ගේ රූපලාවණ්‍යය සඳහා අවශ්‍ය දේ සපයා දෙනු මැනව.</verse>
				<verse number="4">එවිට රජ්ජුරුවන්ට ප්‍රිය ව පෙනෙන තරුණිය වස්තී වෙනුවට බිසෝ වේවා”යි කී හ. රජ මෙයට ප්‍රසන්න වී එලෙස කෙළේ ය.</verse>
				<verse number="5">බෙන්ජමින් ගෝත්‍රයේ කිෂ්ගේ පුත්‍රයා වන ෂිමෙයිගේ පුත් ජායීර්ගේ පුත්‍රයා වන මොර්දෙකයි නම් ජුදෙව්වෙක් සූසා නම් අගනුවර සිටියේ ය.</verse>
				<verse number="6">ඔහු වනාහි බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් විසින් ජෙරුසලමෙන් අල්ලාගනු ලැබ, ජුදාහි රජ වූ ජෙකොනියා සමඟ ගෙනෙනු ලැබූ අය අතර වූවෙකි.</verse>
				<verse number="7">ඔහු තමාගේ බාප්පාගේ දුව වන හදස්සා එනම්, එස්තර් දරුකමට හදාගත්තේ ය. මන්ද, ඇගේ පියා වත්, මවු වත් ජීවත් ව සිටියේ නැත. ඈ වනාහි ශෝභන, රූපසම්පන්න තැනැත්තියක් වූවා ය. ඇගේ මවුපියන් නැසුණු කල මොර්දෙකයි ඈ තමාගේ දුවක වශයෙන් හදාගත්තේ ය.</verse>
				<verse number="8">රජුගේ ආඥාවත්, නියෝගයත් පළ කරනු ලැබූ කල්හි, බොහෝ කාන්තාවන් හෙගයිගේ රැකවරණය යටතේ තබන්නට සූසා අගනුවරට ගෙනෙනු ලැබූ විට, එස්තර් ද රජ මාලිගාවේ ස්ත්‍රීන්ගේ රැකවලා වන හෙගයිගේ රැකවරණයට ගෙනෙන ලද්දී ය.</verse>
				<verse number="9">ඒ තරුණිය ද හෙගයිට ප්‍රිය වී ඔහුගෙන් කරුණාව ලැබුවා ය. ඔහු විගස සුවඳ විලවුන් ද ඇගේ ආහාර කොටස ද රජ මාලිගාවෙත් විශේෂයෙන් තෝරාගත් තරුණයන් සත්දෙනෙකු ද ඈට දී ඈට සහ ඇගේ මෙහෙකාරියන්ට අන්තඃපුරයේ ඉතා ම හොඳ කොටෙසහි ලැගුම් දුන්නේ ය.</verse>
				<verse number="10">එස්තර් තොමෝ ඇගේ ජාතිය කුමක් ද කියාවත්, ඇගේ සෙනඟ කවුරු ද කියාවත් එළිදරව් නොකළා ය. මන්ද, ඒවා එළිදරව් නොකරන ලෙස මොර්දෙකයි ඈට අණ කර තිබුණේ ය.</verse>
				<verse number="11">එස්තර්ගේ සැපසනීප කෙසේ ද කියාත්, ඈට කුමක් සිදු වේ ද කියාත් දැනගන්න පිණිස මොර්දෙකයි අන්තඃපුරයේ මළුව ඉදිරියේ දිනපතා ඔබමොබ ­සක්මන් කෙළේ ය.</verse>
				<verse number="12">ස්ත්‍රීන්ට සූදානම් වීමට නියමිත මුළු කාලය දොළොස් මාසයක් විය. ඒ කාලයේ දී සුවඳලාටු තෙල් හය මාසයක් ද සුගන්ධ ද්‍රව්‍ය සහ ස්ත්‍රීන්ගේ රූපලාවණ්‍යය සඳහා තෛලය හය මාසයක් ද පාවිච්චි කරන ලදී. මේ කාලය සම්පූර්ණ වූ පසු ඔවුන්ට අහෂ්වේරොෂ් රජු ළඟට යන්නට වාරය පැමිණියේ ය.</verse>
				<verse number="13">තරුණියක රජු ළඟට යන විට, අන්තඃපුරයෙන් තමා කැමැති දෙයක් ගෙන යන පිණිස ඈට අවසර තිබිණි.</verse>
				<verse number="14">ඈ සවස ගොස් පසු දා උදේ රජුගේ නපුංසකයා වන, උපභාර්යාවන්ගේ රැකවලා වූ ෂයෂ්ගාස්ගේ රැකවරණයට භාර වන පිණිස දෙ වන අන්තඃපුරයට යන්නී ය. රජ ඈට ප්‍රිය වී නම්, ඇගේ නම කියා ඈට අඬගැසුවොත් මිස ඈ රජු ළඟට තවත් පැමිණියේ නැත.</verse>
				<verse number="15">මොර්දෙකයි දුව වශයෙන් හදාගත්, ඔහුගේ බාප්පා වන අබිහයිල්ගේ දූ වූ එස්තර්ට රජු ළඟට යාමට වාරය පැමිණි විට, රජුගේ නපුංසකයා වන, ස්ත්‍රීන්ගේ රැකවලා වූ හෙගයි නියම කළ දේ හැර ඈ වෙන කිසිවක් නොඉල්ලුවා ය. එස්තර් දුටු සියල්ලෝ ඈට ප්‍රිය වූ හ.</verse>
				<verse number="16">මෙසේ එස්තර් තොමෝ අහෂ්වේරොෂ් රජුගේ රජකම් කිරීමේ සත් වන අවුරුද්දේ තේබෙත් නම් දස වන මාසයේ දී රජ මැදුරට රජු වෙත ගෙනයනු ලැබුවා ය.</verse>
				<verse number="17">රජ ද සියලු ම ස්ත්‍රීන්ට වඩා එස්තර්ට පෙම් කොට, සියලු කන්‍යාවන්ට වඩා ඈට කරුණාව ද ආදරය ද පෙන්වා, ඇගේ හිසේ රාජ කිරීටය තබා, වස්තී බිසව වෙනුවට ඇය බිසව කරගත්තේ ය.</verse>
				<verse number="18">රජ තමාගේ සියලු අධිපතීන්ට හා සේවකයන්ට මහා මංගල්‍ය භෝජනයක් පිළියෙළ කර දුන්නේ ය. එය එස්තර්ට උපහාර දැක්වීමේ මංගල්‍යයකි. රජ සියලු ප්‍රදේශවල නිවාඩු දිනයක් පළ කර, රජ කෙනෙකුට ඔබින ලෙස තෑගි බෙදා දුන්නේ ය.</verse>
				<verse number="19">දෙ වන වතාවේ කන්‍යාවන් රැස් කරන කල මොර්දෙකයි රජ වාසල් දොරටුවේ හිඳගෙන උන්නේ ය.</verse>
				<verse number="20">මොර්දෙකයි එස්තර්ට අණ කළ ලෙස, ඇය තමාගේ සෙනඟ කවුරු ද කියා වත්, ඇගේ ජාතිය කුමක් ද කියා වත් නොදන්වා සිටියා ය. මොර්දෙකයි ළඟ එස්තර් ඇති දැඩි වන විට කළ ලෙස ඈ ඔහුගේ කීම ඉෂ්ට කළා ය.</verse>
				<verse number="21">දිනක් මොර්දෙකයි රජ වාසල් දොරටුවේ හිඳගෙන සිටිය දී වාසල් රැකවලුන් අතරෙන් රජුගේ නපුංසකයන් දෙදෙනෙකු වන බිග්තාන් සහ තෙරෙෂ් කෝප වී අහෂ්වේරොෂ් රජු මරන්නට කුමන්ත්‍රණය කළෝ ය.</verse>
				<verse number="22">මොර්දෙකයිට ඒ බව සැළ වී ය. ඔහු එස්තර් බිසවට එපවත් දැන්වී ය. මොර්දෙකයිගේ නම සඳහන් කරමින් එස්තර් එපවත් රජුට කීවා ය.</verse>
				<verse number="23">ඒ කාරණය විභාග කළ කල්හි එය සැබෑ බව පෙනී ගිය නිසා, ඒ දෙදෙනා ගසක එල්ලා මරනු ලැබූ හ. මේ සිද්ධිය රජුගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ රජු ඉදිරියේ දී සටහන් කරන ලදී.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">මේ සිදුවීම්වලට පසු අහෂ්වේරොෂ් රජ, ආගග් ජාතික හම්මෙදාතාගේ පුත් හාමාන්ට බුහුමන් දක්වමින්, ඔහු උසස් තත්ත්වයකට පමුණුවා, තමා වෙත සිටි සියලු අධිපතීන්ට වඩා උත්තම නිලයක් ඔහුට දුන්නේ ය.</verse>
				<verse number="2">රජ වාසල සිටි රජුගේ සියලු සේවකයෝ ද හාමාන්ට හිස නමා ආචාර කළෝ ය. මන්ද, එසේ කරන ලෙස රජු අණ කර තිබුණේ ය. එහෙත්, මොර්දෙකයි ඔහුට හිස නැමුවේ වත්, ආචාර කෙළේ වත්, නැත.</verse>
				<verse number="3">එවිට රජ වාසල සිටි රජුගේ සේවකයෝ කතා කොට, “ඔබ රජුගේ අණ කඩ කරන්නේ මන්දැ”යි මොර්දෙකයිගෙන් ඇසූ හ.</verse>
				<verse number="4">ඔවුන් දවස්පතා ඔහුට මෙසේ කී නමුත්, ඔහු සවන් නුදුන් බැවින්, මොර්දෙකයිගේ මේ හැසිරීම ඉවසනු ලැබේ ද කියා බලන පිණිස ඔව්හු හාමාන්ට ඒ බව දැන්නූ හ. මන්ද, තමා ජුදෙව්වෙකු බව මොර්දෙකයි ඔවුන්ට කියා තිබුණේ ය.</verse>
				<verse number="5">මොර්දෙකයි තමාට හිස නමා ආචාර නොකරන බව දැක හාමාන් කෝපාවිෂ්ට විය.</verse>
				<verse number="6">එහෙත්, මොර්දෙකයිගේ ජාතිය කුමක් දැ යි ඔහු දැනගත් විට, ඔහු පමණක් මැරීම නොසෑහේ යයි ඔහු සිතී ය. එබැවින් හාමාන් අහෂ්වේරොෂ්ගේ මුළු රාජ්‍යයෙහි සිටි මොර්දෙකයිගේ සෙනඟ වන සියලු ජුදෙව්වරුන් විනාශ කරන්නට අධිෂ්ඨාන කරගත්තේ ය.</verse>
				<verse number="7">අහෂ්වේරොෂ් රජුගේ දොළොස් වන අවුරුද්දේ නිසාන් මාසය නම් පළමු වන මාසයේ පටන්, හාමාන් ඉදිරියෙහි දවසින් දවස, මාසයෙන් මාසය අදාර් මාසය නම් දොළොස් වන මාසය දක්වා ඔව්හු පූර් නම් පස ඇට දැමූ හ.</verse>
				<verse number="8">එවිට හාමාන් අහෂ්වේරොෂ් රජුට කතා කොට, “ඔබේ රාජ්‍යයේ සියලු ප්‍රදේශවල ජාතීන් අතරේ එක්තරා සෙනඟක් විසිර ගොස් වෙන් ව සිටිති. ඔවුන්ගේ ව්‍යවස්ථා සියලු ජනයන්ගේ ව්‍යවස්ථාවලට වෙනස් ය. ඔවුන් රාජකීය ව්‍යවස්ථා පවත්වන්නේ නැත. එහෙයින්, ඔවුන්ට සිටින්නට ඉඩ දීම රජ්ජුරුවන්ට වටින්නේ නැත.</verse>
				<verse number="9">රජතුමා සතුටු නම්, ඔවුන් නැති කර දමන හැටියට නියෝගයක් පැණවිය යුතු ය. එසේ කළොත් මම රාජ භාණ්ඩාගාරයට ගෙනෙන පිණිස රාජකාරිය භාරකාරයන් අතට රිදී කිලෝග්‍රෑම් තුන්ලක්ෂ හතළිස්දාහක් කිරා දෙන්නෙමි”යි කීවේ ය.</verse>
				<verse number="10">රජ තමාගේ අතින් මුදුව ගලවා ජුදෙව්වරුන්ගේ සතුරා වූ ආගග් ජාතික හම්මෙදාතාගේ පුත් හාමාන්ට දී ඔහුට කතා කොට,</verse>
				<verse number="11">“රිදී ඔබට දී ඇත; සෙනඟත් දී ඇත; ඔබ කැමැති දෙයක් ඔවුන්ට කරන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="12">එවිට පළමු වන මාසයේ දහතුන් වන දා රජුගේ ලේකම්වරුන් කැඳවන ලදුව හාමාන් අණ කළ සියල්ල ලෙස රජුගේ දිශාධිපතීන්ට ද, සියලු රටවල ආණ්ඩුකාරයන්ට ද, ඒ ඒ සෙනඟගේ අධිපතීන්ට ද, ඒ ඒ රටේ අකුරුවලින්, ඒ ඒ සෙනඟගේ භාෂාවෙන් රාජාඥාවක් ලියවා රාජ මුද්‍රාවෙන් යවනු ලැබී ය. අහෂ්වේරොෂ් රජුගේ නමින් එය ලියා රාජ මුද්‍රාව තබන ලදී.</verse>
				<verse number="13">අදාර් මාසය නම් දොළොස් වන මාසයේ දහතුන් වන දා තරුණයන් ද මහල්ලන් ද බාලයන් ද ස්ත්‍රීන් ද යන සියලු ජුදෙව්වරුන් එක දවසේ ම නැති කර දමන්නත්, මරන්නත්, සමූලඝාතනය කරන්නත්, ඔවුන්ගේ දේපළ පැහැර ගන්නත් කියා රජුගේ සියලු රටවලට දූතයන් අත ලියුම් යවන ලදී.</verse>
				<verse number="14">ඒ දවසට සූදානම් ව සිටින ලෙස එක එක පළාතට නියෝගයක් දෙන පිණිස ඒ ලියවිල්ලේ පිටපතක් සියලු රටවැසියන් අතර ප්‍රසිද්ධ කරන ලදී.</verse>
				<verse number="15">දූතයෝ රජුගේ අණ පරිදි විගසින් පිටත් ව ගියහ. ඒ රාජාඥාව සූසා අගනුවර ද පළ කරන ලදී. රජ ද හාමාන් ද විනෝද වන පිණිස හිඳගත්තෝ ය. එහෙත්, සූසා නගරයේ මහා කැළඹීමක් ඇති විය.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">සිදු වූ සියල්ල මොර්දෙකයි දැනගත් විට ඔහු ශෝකයෙන් සිය වස්ත්‍ර ඉරාගෙන, ඇඟේ අලු තවරාගෙන, ගෝණි රෙදි හැඳගෙන, ඉමහත් දුකින් හඬා වැලපෙමින් නගරය මැදින් ගියේ ය.</verse>
				<verse number="2">මෙසේ ඔහු රජ වාසල ඉදිරිපිටට ම පැමිණියේ ය. ගෝණි රෙදි හැඳගෙන කිසිවෙකුට රජ වාසලට පිවිසීමට අවසර නොතිබිණි.</verse>
				<verse number="3">රාජාඥාව ප්‍රකාශ කරනු ලැබූ සියලු රටවල ජුදෙව්වරුන් අතරේ මහා වැලපීම ද නිරාහාර ව සිටීම ද හැඬීම ද විලාප කීම ද ඇති විය. බොහෝ දෙනෙක් ගෝණි රෙදි හැඳගෙන අලු පිට වැතිර සිටියහ.</verse>
				<verse number="4">එවිට එස්තර්ගේ මෙහෙකාරියෝ ද නපුංසකයෝ ද අවුත් එපවත් ඈට දැන්වූ හ. එකල බිසව ශෝකයෙන් ඇලළී ගියා ය. ඈ මොර්දෙකයිට ගෝණි රෙදි ඉවත ලා ඇඳගැනීමට ඇඳුම් යැවූවා ය. එහෙත්, ඔහු ඒවා පිළිගත්තේ නැත.</verse>
				<verse number="5">එවිට එස්තර්, ඈට මෙහෙකරන පිණිස රජු විසින් පත් කරන ලද නපුංසකයන්ගෙන් එක් කෙනෙකු වන හාතාක් කැඳවා, කාරණාව කුමක් ද කියාත්, ඔහු මේ ආකාරයෙන් ක්‍රියා කරන්නේ මන්ද කියාත් ගොස් මොර්දෙකයිගෙන් දැනගන්නට අණ කළා ය.</verse>
				<verse number="6">හාතාක් ද අගනුවර රජ වාසල ඉදිරිපිට තිබුණු වීදියේ සිටි මොර්දෙකයි ළඟට ගියේ ය.</verse>
				<verse number="7">එවිට මොර්දෙකයි තමාට සිදු වූ සියල්ලත්, ජුදෙව්වරුන් නැති කරන පිණිස හාමාන් රාජ භාණ්ඩාගාරයට ගෙවන්නට පොරොන්දු වූ මුළු මුදල් ගණනත් ඔහුට දැන්වී ය.</verse>
				<verse number="8">තවද, ඔවුන් විනාශ කරන්නට සූසාහි දී දුන් නියෝග පත්‍රයේ පිටපත එස්තර්ට පෙන්වා දන්වන පිණිස ඔහුට දී, ඈ රජු ළඟට ගොස් ඔහුට කන්නලව් කර ඇගේ සෙනඟ උදෙසා ඔහුගෙන් කරුණාව ඉල්ලන පිණිස ඈට අණ කරන බව ද ඔහුට කීයේ ය.</verse>
				<verse number="9">හාතාක් අවුත් මොර්දෙකයි කී දේ එස්තර්ට දැන්වී ය.</verse>
				<verse number="10">එකල එස්තර් හාතාක්ට කතා කොට, මොර්දෙකයි වෙත ගෙන යන පිණිස පණිවුඩයක් දෙමින් මෙසේ කීවා ය:</verse>
				<verse number="11">“කැඳවනු නොලැබ ඇතුළු මළුවේ රජු වෙත පැමිණෙන ස්ත්‍රී-පුරුෂ කවරෙක් හෝ වේවා නීතිය අනුව මරණයට පත් කළ යුතු බව රජුගේ සියලු සේවකයෝ ද රජුගේ සියලු ප්‍රදේශවල සෙනඟ ද දනිති. ඒ නීතිය බල නොපාන්නේ, යමෙකු දෙසට රජු රන් ජයකොන්තය දිගු කළොත් ඒ අයට පමණකි. එහෙත්, රජු වෙත පැමිණෙන්නට කැඳවීමක් දැනට තිස් දවසකින් මට ලැබී නැත.”</verse>
				<verse number="12">එස්තර්ගේ මේ පණිවුඩය මොර්දෙකයිට දන්වන ලදී.</verse>
				<verse number="13">එවිට මොර්දෙකයි එස්තර්ට පිළිතුරු යවමින්, “ඔබ රජ ගෙදර සිටින නිසා සියලු ජුදෙව්වරුන් අතරෙන් ඔබ පමණක් ගැළවෙන්නෙහි ය කියා නොසිතන්න.</verse>
				<verse number="14">මන්ද, මේ අවස්ථාවේ දී ඔබ නිශ්ශබ්ද ව ම සිටියොත් වෙනතකින් ජුදෙව්වරුන්ට නිදහසත් ගැළවීමත් පැමිණෙනු ඇත. එහෙත්, ඔබ සහ ඔබේ පිය වංශය නැති වනු ඇත. ඔබ රාජ්‍යයට පැමුණුණේ මෙවැනි අවස්ථාවක් නිසා ම නොවේ ද කියා දන්නේ කවුරු දැ”යි කියන්නට අණ කෙළේ ය.</verse>
				<verse number="15">එවිට එස්තර් මොර්දෙකයිට උත්තර යවමින්,</verse>
				<verse number="16">“ගොස් සූසාහි සිටින සියලු ජුදෙව්වරුන් රැස් කරවා, මා උදෙසා ඔවුන් සමඟ දවස් තුනක් රෑ දවල් නොකා නොබී නිරාහාර ව සිටින්න. මාගේ සේවිකාවෝත්, මමත්, එසේ ම නිරාහාර ව සිටින්නෙමු. එවිට නීති විරෝධි වුවත් මම රජු ළඟට යන්නෙමි. මා මැරුණොත් මැරුණාවේ” කියා කියන්නට කීවා ය.</verse>
				<verse number="17">එවිට මොර්දෙකයි ගොස් තමාට එස්තර් අණ කළ ලෙස සියල්ල කෙළේ ය.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">තුන් වන දා එස්තර් රාජ වස්ත්‍ර පැළඳගෙන රජ මැදුර ඉදිරිපිට වූ රජුගේ ශාලාවේ ඇතුළු මිදුලට ගොස් සිටියා ය. රජතුමා රජ මැදුරේ දොරටුවට මුහුණ දී සිහසුන් අරා හුන්නේ ය.</verse>
				<verse number="2">එවිට රජතුමා එස්තර් බිසව මිදුලේ සිටිනු දැක ඈට කරුණාව පා, තමාගේ අතේ තිබුණු රන් ජයකොන්තය ඈ දෙසට දිගු කෙළේ ය. එස්තර් ළං ව ජයකොන්තයේ මුදුන් කෙළවරේ අත තැබුවා ය.</verse>
				<verse number="3">එකල රජතුමා ඈට කතා කොට, “එස්තර් රැජිනියනි, ඔබේ වුවමනාව කුමක් ද? ඔබේ අයැදීම කුමක් ද? ඔබ ඉල්ලන කුමන දෙයක් වුව ද, රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුව ද ඔබට දෙන්නෙමි”යි කීයේ ය.</verse>
				<verse number="4">එස්තර් පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන් වහන්සේට යහපතැ යි පෙනේ නම්, මා රජතුමාට පිළියෙළ කර තිබෙන මංගල භෝජනයට රජතුමා ද හාමාන් ද අද එනු මැනව”යි කීවා ය.</verse>
				<verse number="5">එවිට රජ කතා කරමින්, “එස්තර්ගේ කැමැත්ත කරන පිණිස හාමාන් ඉක්මනින් කැඳවාගෙන එන්නැ”යි කීවේ ය. මෙසේ රජ ද හාමාන් ද එස්තර් පිළියෙළ කළ මංගල භෝජනයට පැමිණියෝ ය.</verse>
				<verse number="6">රජතුමා මිදියුස පානය කරමින් සිටිය දී එස්තර්ට කතා කොට, “ඔබේ ඉල්ලීම කුමක් ද? ඔබට එය දෙනු ලබන්නේ ය. ඔබේ අයැදුම කුමක් ද? රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුව ද ඔබ ඉල්ලුවොත් එය ඔබට දෙන්නෙමි”යි කීවේ ය.</verse>
				<verse number="7">එවිට එස්තර් පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන් වහන්සේගෙන් මට කරුණාව ලැබී තිබේ නම්,</verse>
				<verse number="8">එසේ ම මා ඉල්ලන දේ දෙන්නත්, මාගේ අයැදුම ඉෂ්ට කරන්නත් රජතුමා ප්‍රසන්න වේ නම්, ඔබ තුමාටත්, හාමාන්ටත් මා හෙට පිළියෙළ කරන මංගල භෝජනයට ඔබ සහ හාමාන් පැමිණෙත්වා. එවිට රජුගේ කීම ලෙස හෙට මම කරන්නෙමි”යි කීවා ය.</verse>
				<verse number="9">ඒ දවසේ දී හාමාන් ප්‍රීතිමත් සතුටු සිතකින් පිටත් ව ගියේ ය. එහෙත්, හාමාන් තෙම රජ වාසලේ දොරටුව ළඟ සිටි මොර්දෙකයි තමා එන විට නැඟිට්ටේ වත්, තමාට සැලකිල්ල දැක්වූයේ වත් නැති බව දැක ඔහු කෙරෙහි ඉතා කෝපාවිෂ්ට විය.</verse>
				<verse number="10">එසේ වුවත්, ඔහු කෝපය සංසිඳුවාගෙන, ගෙට අවුත් තමාගේ මිත්‍රයන් ද තමාගේ බිරිඳ වන සෙරෙෂ් ද කැඳවාගෙන,</verse>
				<verse number="11">තමාගේ වස්තුවේ යස ඉසුරු ගැන ද, දරුවන් සමූහය ගැන ද, රජු විසින් තමා උසස් කරනු ලැබූ හැටි ද රජුගේ සෙසු අධිපතීන්ටත් සේවකයන්ටත් වඩා තමා උසස් කරනු ලැබූ හැටි ද යනාදී සියල්ල ගැන පුරසාරම් දෙඩුවේ ය.</verse>
				<verse number="12">හාමාන් තවදුරටත් කතා කොට, “එස්තර් බිසව පිළියෙළ කළ මංගල භෝජනයට රජුටත්, මටත් මිස වෙන කිසිවෙකුට ඈ ආරාධනා කෙළේ නැත. හෙටත් රජු සමඟ එන්න ඈ මට ආරාධනා කර ඇත.</verse>
				<verse number="13">එහෙත්, ජුදෙව් ජාතික මොර්දෙකයි රජ වාසල දොරටුව ළඟ හිඳගෙන සිටිනු යම් තාක් කල් මට පෙනේ ද, ඒ තාක් කල් මේ සියල්ලෙන් මට වැඩක් නැතැ”යි කීවේ ය.</verse>
				<verse number="14">එකල ඔහුගේ බිරිඳ වන සෙරෙෂ් ද ඔහුගේ සියලු මිත්‍රයෝ ද ඔහුට කතා කොට, “මීටර් විසිදෙකක් උස එල්ලුම් ගහක් සාදවා, මොර්දෙකයි එහි එල්ලා දමන පිණිස හෙට උදේ රජුට කතා කර, ඉන්පසු රජු සමඟ මංගල භෝජනයට ප්‍රීතියෙන් යන්නැ”යි කීවෝ ය. ඒ කීමට හාමාන් ප්‍රසන්න ව එල්ලුම් ගහ ඉදි කරවී ය.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">එදා රාත්‍රියේ රජුට නින්ද නොගියේ ය. එබැවින් ඔහු සිහි කටයුතු සිදුවීම් පිළිබඳ වාර්තා පොත ගෙනෙන්නට අණ කෙළේ ය. එය රජු ඉදිරියෙහි කියවන ලද්දේ ය.</verse>
				<verse number="2">අහෂ්වේරොෂ් රජු මරන්න සෙවූ වාසල රැකවලුන්ගෙන් රජුගේ නපුංසකයන් දෙදෙනෙකු වන බිග්තාන් ද තෙරෙෂ් ද ගැන මොර්දෙකයි සැළ කළ වග එහි සටහන් කර තිබිණි.</verse>
				<verse number="3">“මේ ගැන මොර්දෙකයිට මොන ගරු සම්මානයක් කරන ලද්දේ දැ”යි රජු ඇසී ය. “ඔහුට කිසි දෙයක් කෙළේ නැතැ”යි රජුට සේවය කරන මෙහෙකරුවෝ කී හ.</verse>
				<verse number="4">රජතුමා කතා කරමින්, “රාජාංගණයේ සිටින්නේ කවරෙක් දැ”යි ඇසී ය. ඒ අවස්ථාවේ දී හාමාන් තමා සෑදූ එල්ලුම්ගහේ මොර්දෙකයි එල්ලා දමන්න රජුට කියන පිණිස මැදුරේ පිටත රාජාංගණයට පැමිණ සිටියේ ය.</verse>
				<verse number="5">“හාමාන් මිදුලේ සිටින්නේ ය”යි රජුගේ මෙහෙකරුවෝ ඔහුට කී හ. “ඔහු ඇතුළට ඒවා”යි රජතුමා කී ය.</verse>
				<verse number="6">හාමාන් ඇතුල් වූ විට රජතුමා ඔහුට කතා කොට, “රජු ගෞරව කරන්නට කැමැති මනුෂ්‍යයාට කළ යුත්තේ කුමක් දැ”යි ඇසුවේ ය. එවිට හාමාන්, “මා මිස රජු ගෞරව කරන්නට කැමැති වෙන කෙනෙක් නැතැ”යි සිතාගෙන, රජුට මෙසේ පිළිතුරු දෙමින්,</verse>
				<verse number="7">“රජ්ජුරුවන් ගෞරව කරන්නට කැමැති මනුෂ්‍යයාට මෙසේ කළ යුතු ය:</verse>
				<verse number="8">රජ්ජුරුවන් පළඳින රාජ වස්ත්‍රයක් ද රජ්ජුරුවන් නැඟයන, රාජකීය ඔටුන්නක් හිසේ දරන අශ්වයා ද ගෙනවුත්,</verse>
				<verse number="9">වස්ත්‍රය ද අශ්වයා ද රජුගේ ඉතා උතුම් අධිපතීන්ගෙන් එක් කෙනෙකු අතට භාර දෙන්නත්, රජ්ජුරුවන් ගෞරව කරන්නට කැමැති මනුෂ්‍යයාට එය පළඳවා ඔහු අශ්වයා පිට නංවා නුවර වීදිය දිගේ ගෙන යමින්, ‘රජ්ජුරුවන් ගෞරව කරන්නට කැමැති මනුෂ්‍යයාට මෙසේ කරනු ලැබේ ය’යි ඔහුට පෙරටුවෙන් ප්‍රකාශ කරමින් යන්නත් යෙදේ වා”යි කී ය.</verse>
				<verse number="10">එවිට රජ හාමාන්ට කතා කොට, “ඉක්මන් කර ඔබ කී වස්ත්‍රය ද අශ්වයා ද රැගෙන, රජ වාසල් දොරටුව ළඟ හිඳින ජුදෙව් ජාතික මොර්දෙකයිට එසේ කරන්න. ඔබ කී සියල්ලෙන් අඩුවක් නැතිව කරන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="11">එවිට හාමාන් වස්ත්‍රය ද අශ්වයා ද රැගෙන ගොස්, මොර්දෙකයි සරසා, ඔහු නුවර වීදිය දිගේ අසුපිටින් ගෙන යමින්, “රජ්ජුරුවන් ගෞරව කරන්නට කැමැති මනුෂ්‍යයාට එතුමා විසින් මෙසේ කරනු ලැබේ ය”යි ඔහුට පෙරටුව ප්‍රකාශ කරමින් ගියේ ය.</verse>
				<verse number="12">ඉන්පසු මොර්දෙකයි රජ වාසල් දොරටුව ළඟට හැරී ආවේ ය. එහෙත්, හාමාන් වැලපෙමින්, මුහුණ වසාගෙන තමාගේ ගෙදරට ඉක්මනින් ගොස්</verse>
				<verse number="13">තමාට සිදු වූ සියල්ල තම බිරිඳ වන සෙරෙෂ්ට ද තමාගේ සියලු මිත්‍රයන්ට ද කීවේ ය. එවිට ඔහුගේ උපදේශකයෝ ද ඔහුගේ බිරිඳ වන සෙරෙෂ් ද ඔහුට කතා කොට, “ඔබ මොර්දෙකයි ඉදිරියෙහි පිරිහීයන්නට පටන්ගත්තෙහි ය. ඔහු ජුදෙව් වංශයේ කෙනෙක් නම්, ඔහුට විරුද්ධ ව සිටින්න ඔබට නොහැකි ය. ඔහු ඉදිරියෙහි ඔබ නිසැක ව පිරිහී වැටී ඇතැ”යි කී හ.</verse>
				<verse number="14">ඔවුන් ඔහු සමඟ කතා කරද්දී ම රජුගේ නපුංසකයෝ අවුත් එස්තර් පිළියෙළ කළ මංගල භෝජනයට හාමාන් ඉක්මනින් කැඳවාගෙන ගියෝ ය.</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">රජතුමා හා හාමාන් එස්තර් බිසව සමඟ මංගල භෝජන උත්සවයට පැමිණියහ.</verse>
				<verse number="2">දෙ වන දවසේත් මුද්‍රික පානය කරන විට රජතුමා එස්තර්ට කතා කොට, “එස්තර් රැජිනියනි, ඔබේ ඉල්ලීම කුමක් ද? එය ඔබට දෙනු ලැබේ. ඔබේ අයැදුම කුමක් ද? එය මාගේ රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුව ද දෙන්නෙමි”යි කී ය.</verse>
				<verse number="3">එවිට එස්තර් රැජින උත්තර දෙමින්, “රජතුමෙනි, ඔබෙන් මට කරුණාව ලැබී තිබේ නම්, එසේ ම ඔබ කැමැති නම්, මාගේ ඉල්ලීම අනුව මාගේ ජීවිතය බේරා දුන මැනව, මාගේ පැතීම අනුව මාගේ සෙනඟගේ ද ජීවිත බේරා දුන මැනව.</verse>
				<verse number="4">මන්ද, මාගේ ජාතියත්, මාත් සමූලඝාතනයට ද මරණයට ද විනාශයට ද පාවා දී ඇත. අප පාවා දෙනු ලැබුවේ දාස දාසීන් වශයෙන් පමණක් නම්, මම නිශ්ශබ්ද වෙමි. එහෙත්, දැන් තිබෙන තත්ත්වය අනුව රජතුමාට වන අලාභ හානිය එදිරිකාරයාට වන හානිය හා සම කිරීමට නුපුළුවනැ”යි කීවා ය.</verse>
				<verse number="5">එවිට අහෂ්වේරොෂ් රජ එස්තර් රැජිනට කතා කොට, “මෙසේ කරන්න සිතාගෙන සිටින තැනැත්තා කවරෙක් ද? ඔහු සිටින්නේ කොහේ දැ”යි ඇසී ය.</verse>
				<verse number="6">එස්තර් පිළිතුරු දෙමින්, “ඒ තැනැත්තා නම්, එදිරිකාරයෙකු ද සතුරෙකු ද වන මේ දුෂ්ට හාමාන් ය”යි කීවා ය. එවිට රජු ද රැජින ද අබිමුවෙහි හාමාන් භීතියට පත් විය.</verse>
				<verse number="7">රජතුමා කිපී මංගල භෝජනයෙන් නැඟිට රජ උයනට ගියේ ය. රජතුමා තමාට විරුද්ධ ව නපුරක් කිරීමට ඉටාගත් බව හාමාන් දැක තමාගේ ප්‍රාණය ගැන එස්තර් රැජිනියට කන්නලව් කරන්නට නැවතිණි.</verse>
				<verse number="8">රාජකීය උයනෙන් භෝජන ශාලාවට රජු හැරී ආ විට හාමාන් එස්තර් උන් යහන පිට වැටී උන්නේ ය. එවිට රජතුමා කතා කරමින්, “මාලිගාවේ මා ඉදිරිපිට දී මොහු රැජිනටත් බලහත්කාරකම් කරන්නට යන්නේ දැ”යි කීවේ ය. මේ වචනය රජුගේ මුඛයෙන් නික්මුණු හැටියේම නපුංසකයෝ හාමාන්ගේ මුහුණ වැසූ හ.</verse>
				<verse number="9">නපුංසකයන්ගෙන් එක් කෙනෙකු වන හර්බෝනා රජු ඉදිරියෙහි කතා කොට, “එපමණක් නොව, රජුගේ ජීවිතය බේරාගත් මොර්දෙකයි එල්ලීමට හාමාන් මීටර් විසිදෙකක් උස එල්ලුම් ගහක් ඔහුගේ ගෙදර ම ඉදි කරවා තිබේ ය”යි කී ය. “මොහු එසේ එල්ලා දමන්නැ”යි රජතුමා කීවේ ය.</verse>
				<verse number="10">එසේ හාමාන් විසින් මොර්දෙකයිට සාදන ලද එල්ලුම් ගහේ ම හාමාන් එල්ලා දමනු ලැබී ය. ඉක්බිති රජුගේ කෝපය සංසිඳිණි.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">ඒ දවසේ දී අහෂ්වේරොෂ් රජ ජුදෙව්වරුන්ගේ සතුරා වූ හාමාන්ගේ ගේදොර එස්තර් රැජිනට දුන්නේ ය. තවද, මොර්දෙකයි රජතුමා ඉදිරිපිටට පැමිණියේ ය. මන්ද, එස්තර් හා මොර්දෙකයි අතර ඇති නෑකම රජුට දන්වා තිබිණි.</verse>
				<verse number="2">රජතුමා හාමාන්ගෙන් ආපසු ගත්, තමාගේ පේරැස් මුද්ද ගලවා මොර්දෙකයිට දුන්නේ ය. එස්තර් තොමෝ හාමාන්ගේ ගේදොර කෙරෙහි මොර්දෙකයි පරිපාලකයා වශයෙන් පත් කළා ය.</verse>
				<verse number="3">එස්තර් නැවතත් රජු ඉදිරියෙහි කතා කොට, රජුගේ පාමුල වැටී, ආගග් ජාතික හාමාන් අදහස් කළ නපුර ද ජුදෙව්වරුන්ට විරුද්ධ ව ඔහු යෝජනා කළ උපාය ද ව්‍යර්ථ කරන ලෙස අඬා කන්නලව් කළා ය.</verse>
				<verse number="4">රජ එස්තර් දෙසට රන් ජයකොන්තය දිගු කෙළේ ය. එවිට එස්තර් නැඟිට රජු ඉදිරියෙහි සිට කතා කොට,</verse>
				<verse number="5">“රජතුමා කැමැති නම්, මට කරුණාව ද ලැබී තිබේ නම්, එසේ ම මාගේ යෝජනාව රජ්ජුරුවන්ට හරි යයි පෙනේ නම්, මා රජුගේ ඇස් හමුයෙහි ප්‍රිය මනාප නම්, රජුගේ සියලු ප්‍රදේශවල සිටින ජුදෙව්වරුන් විනාශ කරන්නට ආගග් ජාතික හම්මෙදාතාගේ පුත් හාමාන් උපක්‍රමයකින් ලියා යැවූ ලියුම් අවලංගු කරන පිණිස නිවේදනයක් යවනු මැනව.</verse>
				<verse number="6">මන්ද, මාගේ සෙනඟට පැමිණෙන නපුර දැක දැක මා ඉවසාගෙන සිටින්නේ කොහොම ද? මාගේ ඥාතීන්ගේ විනාශය දැක ඉවසාගෙන සිටින්නේ කොහොම දැ”යි කීවා ය.</verse>
				<verse number="7">එවිට අහෂ්වේරොෂ් රජ එස්තර් රැජිනටත්, ජුදෙව් ජාතික මොර්දෙකයිටත් කතා කොට, “හාමාන්ගේ ගෙය එස්තර්ට දිනිමි. ඔහු ජුදෙව්වරුන්ට විරුද්ධ ව කළ කුමන්ත්‍රණය නිසා ඔහු එල්ලුම් ගහේ එල්ලා දැමීමට සැලැස්සුවෙමි.</verse>
				<verse number="8">ඉතින් ඔබට සුදුසු යයි පෙනෙන හැටියට ඔබ ජුදෙව්වරුන් උදෙසා රජුගේ නාමයෙන් ලියුම් ලියා, රජුගේ මුද්‍රාවෙන් මුද්‍රා කර යවන්න. රජුගේ නාමයෙන් ලියා රජුගේ මුද්‍රාවෙන් මුද්‍රා කළ නිවේදනයක් කිසිවෙකුට අවලංගු කළ නොහැකි ය”යි කීවේ ය.</verse>
				<verse number="9">එකල සිවාන් මාසය වන තුන් වන මාසයේ විසිතුන් වන දා රජුගේ ලේකම්වරු ගෙන්වනු ලැබූ හ. මොර්දෙකයි අණ කළ සියල්ල ලෙස ජුදෙව්වරුන්ට ද රටවල් එකසිය විසිහතක් වූ ඉන්දියාවේ සිට එතියෝපියාව දක්වා තිබෙන රටවල දිශාධිපතීන්ට ද ආණ්ඩුකාරයන්ට ද පළාත්වල අධිපතීන්ට ද ඒ ඒ රටේ අකුරුවලින් සහ ඒ ඒ සෙනඟගේ භාෂාවෙන් ද ජුදෙව්වරුන්ට ඔවුන්ගේ අකුරුවලින් සහ ඔවුන්ගේ භාෂාවෙන් ද ලියා යවන ලදී.</verse>
				<verse number="10">ඔහු අහෂ්වේරොෂ් රජුගේ නාමයෙන් ලියා, රජුගේ මුද්‍රාවෙන් මුද්‍රා කොට, රජුගේ අස් හලේ උපන්, රාජ සේවයෙහි යෙදූ, ශීඝ්‍රයෙන් ගමන් කළ සෛන්ධවයන් පිට නැඟී යන පණිවුඩකාරයන් අත ලියුම් යැවී ය.</verse>
				<verse number="11">මේ ලියුම්වලින් රජතුමා සෑම නගරයක ම සිටි ජුදෙව්වරුන්ට සිය දිවි රැකගැනීම පිණිස සංවිධාන වීමටත්, ඔවුන්ට පහර දෙන්නට තැත් කළ කිනම් ජාතියක හෝ ප්‍රදේශයක හෝ සන්නද්ධ සේවාවන් ඔවුන්ගේ බාලයන් ද ස්ත්‍රීන් ද ඇතුළු සියලු දෙනා සමූලඝාතනය කරන්නත්, මරන්නත්, විනාශ කරන්නත්, ඔවුන්ගේ දේපළ පැහැර ගන්නත් අවසර දෙන ලදී.</verse>
				<verse number="12">මේ නියමය අහෂ්වේරොෂ් රජුගේ සියලු ම රටවල ජුදෙව්වරුන් ඝාතනය කරන්නට නියම ව තිබුණ අදාර් නම් දොළොස් වන මාසයේ දහතුන් වන දා ක්‍රියාත්මක වන්නට නියම ව තිබිණි.</verse>
				<verse number="13">එක එක පළාතට නියෝගය දෙන පිණිසත්, ජුදෙව්වරුන් තමන්ගේ සතුරන්ගෙන් පළිගැනීමට ඒ දවසට සූදානම් ව සිටින පිණිසත් ඒ ලියවිල්ලේ පිටපතක් සියලු ම ජනයන් වෙත ප්‍රසිද්ධ කර යවන ලදී.</verse>
				<verse number="14">පණිවුඩකාරයෝ රාජ සේවයෙහි යෙදූ ශීඝ්‍රයෙන් ගමන් කරන සෛන්ධවයන් පිට නැඟී, රජුගේ අණ නිසා ඉක්මනින් කඩිසර ලෙස පිටත් ව ගියෝ ය. ඒ නියෝගය සූසා නම් අගනුවර ද ප්‍රසිද්ධ කරන ලදී.</verse>
				<verse number="15">මොර්දෙකයි නිල් හා සුදු පාට රාජ වස්ත්‍ර ද ලොකු රන් ඔටුන්නක් ද රත්නිල් සිහින් හණ සළුවක් ද පැළඳගෙන රජු ඉදිරියෙන් පිටතට ගියේ ය. සූසා නගරයේ වැසියෝ ප්‍රීති ඝෝෂා කළහ.</verse>
				<verse number="16">ජුදෙව්වරුන්ට සිත් සැහැල්ලු ගතියක් ද ප්‍රීති සන්තෝෂය ද ගෞරවය ද ඇති විය.</verse>
				<verse number="17">රජුගේ අණ හා නියෝගය ප්‍රකාශ කරන ලද සියලු නගරවලත්, ප්‍රදේශවලත් ජුදෙව්වරුන්ට ප්‍රීති සන්තෝෂය ද මංගල්‍ය ලීලාවක් ද නිවාඩු දවසක් ද විය. ජුදෙව්වරුන් නිසා භීතියට පත් ව සිටි දේශයේ ජනයන්ගෙන් බොහෝ දෙනෙක්, ‘තුමූ ජුදෙව්වෝ ය’යි කියාගත්හ.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">රජුගේ ආඥාවේ නියෝගය ක්‍රියාත්මක වන දිනය වන අදාර් නම් දොළොස් වන මාසයේ දහතුන් වන දිනය පැමිණියේ ය. ජුදෙව්වරුන්ගේ සතුරන් ඔවුන් සිය බලයට යටත් කරගැනීමට බලාපොරොත්තු වූ දිනය එය වූ නමුත්, එය ජුදෙව්වරුන් විසින් සිය සතුරන් යටත් කරගැනීමේ දිනයකට හරවාගන්නා ලදී.</verse>
				<verse number="2">තමන්ට අනතුරු කරන්නට උපා යෙදූ අයට පහර දෙන පිණිස අහෂ්වේරොෂ් රජුගේ සියලු රටවල ජුදෙව්වරු තම තමන්ගේ නගරවල රැස් වූ හ. සියලු ජනයා ඔවුන් කෙරෙහි බියපත් ව සිටි බැවින් ඔවුන්ට විරුද්ධ ව සිටින්නට කිසිවෙකුට නුපුළුවන් විය.</verse>
				<verse number="3">ඒ ඒ ප්‍රදේශවල සියලු අධිපතියෝ ද දිශාධිපතියෝ ද ආණ්ඩුකාරයෝ ද රාජකාරිය කරන්නෝ ද ජුදෙව්වරුන්ට උපකාර කළෝ ය. මන්ද, මොර්දෙකයිට බියෙන් ඔව්හු මිරිකී සිටියෝ ය.</verse>
				<verse number="4">මොර්දෙකයි වූකලී රජ මැදුරේ බලසම්පන්න ව සිටියේ ය. ඔහුගේ කීර්තිය ද සියලු ප්‍රදේශවල පතළ වී ගියේ ය. මොර්දෙකයි වඩ වඩාත් බලසම්පන්න විය.</verse>
				<verse number="5">එබැවින් ජුදෙව්වරු තමන්ගේ සියලු සතුරන්ට කඩුවෙන් පහර දී මරා විනාශ කළෝ ය. ඔව්හු සිය සතුරන්ට තමන්ගේ කැමැත්තේ හැටියට කළෝ ය.</verse>
				<verse number="6">සූසා අගනුවර ජුදෙව්වරු මිනිසුන් පන්සියයක් මරා විනාශ කර දැමූ හ.</verse>
				<verse number="7">ජුදෙව්වරුන්ගේ එදිරිකාරයා වූ හම්මෙදාතාගේ පුත් හාමාන්ගේ පුත්‍රයන් දසදෙනා වූ පර්ෂාන්දාතා ද දල්පොන් ද අස්පාතා ද</verse>
				<verse number="8">පෝරාතා ද අදලියා ද අරීදාතා ද</verse>
				<verse number="9">පර්මෂ්තා ද අරිසයි ද අරීදයි ද වයිසාතා ද ඔවුන් විසින් මරා දමනු ලැබුවෝ ය.</verse>
				<verse number="10">එහෙත්, ඔව්හු කොල්ලයට අත නොපෙවුවෝ ය.</verse>
				<verse number="11">එදා සූසා අගනුවර මැරුම් කෑ අයගේ ගණන රජුට දන්වන ලද්දේ ය.</verse>
				<verse number="12">එවිට රජු එස්තර් රැජිනට කතා කොට, “සූසා අගනුවර පමණක් ජුදෙව්වරු මිනිසුන් පන්සියයක් ද හාමාන්ගේ පුත්‍රයන් දස දෙනා ද මරා දැමූ හ. රජුගේ සෙසු ප්‍රදේශවල ඔවුන් කුමක් කර ඇද් ද? ඉතින් ඔබේ ඉල්ලීම කුමක් ද? එය ඔබට දෙනු ලැබේ. ඔබ තවත් අයැදින්නේ කුමක් ද? එය ඉල්ලූ පමණින් ඉෂ්ට කරනු ලැබේ ය”යි කීවේ ය.</verse>
				<verse number="13">එවිට එස්තර් කතා කොට, “රජතුමා කැමැති නම්, සූසාහි සිටින ජුදෙව්වරුන්ට අද දවසේ නියෝගය ලෙස හෙටත් කරන්නට අවසර ලැබේ වා! හාමාන්ගේ පුත්‍රයන් දස දෙනාගේ මළකඳන් එල්ලුම් ගහේ එල්ලා තබත්වා”යි කීවා ය. රජතුමා එසේ කරන්නට අණ කෙළේ ය.</verse>
				<verse number="14">එවිට රාජ නියෝගය ප්‍රසිද්ධ කරන ලදී. ඔව්හු හාමාන්ගේ පුත්‍රයන් දස දෙනාගේ මළකඳන් එල්ලා තැබුවෝ ය.</verse>
				<verse number="15">සූසාහි සිටි ජුදෙව්වරු ද අදාර් මස දහහතර වන දවසේත් රැස් වී සූසාහි මනුෂ්‍යයන් තුන්සියයක් මරාදැමුවෝ ය. එහෙත්, ඔව්හු කොල්ලයට අත නොපෙවුවෝ ය.</verse>
				<verse number="16">රජුගේ ප්‍රදේශවල සිටි සෙසු ජුදෙව්වරු ස්වකීය ජීවිතාරක්ෂාව සඳහා ද සතුරන්ගෙන් නිදහස් වන පිණිස ද සංවිධාන වූ හ. ඔව්හු සිය සතුරන් හැත්තෑ පන්දහසක් මරාදැමුවෝ ය. එහෙත්, ඔව්හු කොල්ලයට අත නොපෙවුවෝ ය.</verse>
				<verse number="17">අදාර් මස දහතුන් වන දා ඔව්හු එසේ කර, දහහතර වන දා නිවාඩු ගෙන, ඒ දවස ප්‍රීතිමත් මංගල්‍ය දවසක් කරගත්හ.</verse>
				<verse number="18">එහෙත්, ඒ මාසයේ දහතුන් වන දාත්, දහහතර වන දාත් සංවිධාන ව සූසාහි විසූ ජුදෙව්වරු පහළොස් වන දා නිවාඩු ගෙන, ඒ දවස ප්‍රීතිමත් මංගල්‍ය දවසක් කරගත්තෝ ය.</verse>
				<verse number="19">කුඩා නුවරවල වාසය කරන පිටිසර ජුදෙව්වරුන් අදාර් මාසයේ දහහතර වන දවස ප්‍රීතිමත්, ආනන්දජනක, එකිනෙකාට කෑම හා තෑගි යවන මංගල්‍ය දවසක් කරගෙන තිබෙන්නේ ඒ නිසා ය.</verse>
				<verse number="20">මොර්දෙකයි ද මේ සිද්ධීන් වාර්තාගත කර අහෂ්වේරොෂ් රජුගේ සියලු ම රටවල ළඟ හා දුර සිටි සියලු ජුදෙව්වරුන්ට ලියුම් යවමින්,</verse>
				<verse number="21">වසරක් පාසා වසරක් අදාර් මාසයේ දහහතර වන දාත් පහළොස් වන දාත් උත්සව දිනයක් ලෙස පවත්වන්නට නියම කෙළේ ය.</verse>
				<verse number="22">එසේ කෙළේ, ඒ දෙදවසේ දී, ජුදෙව්වරුන් නිදහස ලැබූ නිසාත්, ඒ මාසයේ දී ඔවුන්ගේ ශෝකය ප්‍රීතියටත්, ඔවුන්ගේ දොම්නස සොම්නසටත් හැරුණ නිසාත් ය. ඒවා ප්‍රීතිමත්, එකිනෙකාට කෑම හා තෑගි යවන දිළිඳුන්ට දන් දෙන මංගල්‍ය දවස් ලෙස පවත්වන්නට යැයි ඔවුන්ට නියම කරන ලදී.</verse>
				<verse number="23">එබැවින් ඔවුන් කරන්නට පටන්ගත් එම චාරිත්‍රය මොර්දෙකයි ඔවුන්ට ලියා එවූ අන්දමට ජුදෙව්වරු ඉන් පසුවත් කරන්නට එකඟ වූ හ.</verse>
				<verse number="24">ජුදෙව්වරුන්ගේ එදිරිකාරයා වූ ආගග් ජාතික හම්මෙදාතාගේ පුත් හාමාන් ජුදෙව්වරුන් නැති කිරීමට ඔවුන්ට විරුද්ධ ව යෝජනා කර විනාශ කරන්නට පූර් නම් පස ඇට දැමුවේ ය.</verse>
				<verse number="25">එහෙත්, ඒ බව රජුට සැළ වූ කල, එස්තර්ගේ ඉල්ලීම පරිදි රජතුමා හාමාන් විසින් ජුදෙව්වරුන්ට විරුද්ධ ව කරන ලද නපුරු යෝජනාව ඔහුට ම විරුද්ධ ව හැරෙන හැටියටත්, ඔහු සහ ඔහුගේ පුත්‍රයන් එල්ලුම් ගසේ එල්ලා තබන හැටියටත් අණ කර ලියා යැව්වේ ය.</verse>
				<verse number="26">එබැවින් පූර් යන නාමය අනුව ඒ දවස්වලට පූරීම් යන නම තබන ලදී. එබැවින්, මේ හසුනේ ලියා තිබුණ දේ නිසා ද තමන් දුටු දේ නිසා ද තමන්ට සිද්ධ වූ දේ නිසා ද</verse>
				<verse number="27">ජුදෙව්වරු නියමිත විධියටත්, නියම කාලයටත් වසරක් පාසා වසරක් නොවරදවා ඒ දවස් දෙක උත්සව දවස් ලෙස පැවැත්වීමේ වගකීම තමන් උදෙසා ද මතු පරම්පරාවන් උදෙසා ද තමන්ට එකතු වන අය උදෙසා ද භාරගන්නට තීරණය කරගත්හ.</verse>
				<verse number="28">පරපුරෙන් පරපුරට හැම පවුලකට ම, හැම ප්‍රදේශයකට ම, හැම නගරයකට ම ජුදෙව්වරුන් විසින් පූරීම් දවස් පැවැත්විය යුතු බවත්, මතු පරම්පරාවල දී එය අමතක නොකළ යුතු බවත් තීරණය කරගන්නා ලදී.</verse>
				<verse number="29">අබිහයිල්ගේ දුව වූ එස්තර් රැජින මොර්දෙකයි නම් ජුදෙව් ජාතිකයා සමඟ පූරීම් උත්සවය සම්බන්ධයෙන් ලියා දුන් පූර්ණ බලය මෙම දෙ වන ලියුමෙන් ස්ථීර කළා ය.</verse>
				<verse number="30">අහෂ්වේරොෂ්ගේ රාජ්‍යයේ ප්‍රදේශ එකසිය විසි හතේ සිටි සියලු ජුදෙව්වරුන්ට සාමයත්, ආරක්ෂාවත් පතමින් ලියුම් යවන ලදී.</verse>
				<verse number="31">ඒ ලියුම් මඟින්, ජුදෙව් ජාතික මොර්දෙකයි නියම කළ පරිදි මේ පූරීම් උත්සව දවස් නියමිත කාලයට පැවැත්වීම අනිවාර්ය කටයුත්තක් කරන ලදී. ඔවුන්ටත්, ඔවුන්ගේ පරපුරටත් උපවාස හා ශෝකවීම් පිළිබඳ නියමිත නීති රීති තිබුණ ලෙස ම මෙම නියෝග ද පණවන ලදී.</verse>
				<verse number="32">පූරීම් උත්සව දවස් පිළිබඳ නීති රීති එස්තර්ගේ මේ ආඥාවෙන් ස්ථිර කරන ලදී. එය වාර්තාගත කර ඇත.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">අහෂ්වේරොෂ් රජ දේශයටත්, මුහුදු දිවයින්වලටත් තමාට කප්පම් ගෙවන ලෙස නියම කෙළේ ය.</verse>
				<verse number="2">ඔහු කළ සියලු බලවත් තෙදවත් ක්‍රියා ද රජු විසින් උසස් කරන ලද මොර්දෙකයිගේ ගරු බුහුමන් පිළිබඳ විස්තර ද මේදියාවේත්, පර්සියාවේත් රජවරුන්ගේ වාර්තා පොතෙහි ලියා තිබෙනු නොවේ ද?</verse>
				<verse number="3">ජුදෙව් ජාතික මොර්දෙකයි නිලයෙන් දෙ වන වූයේ, අහෂ්වේරොෂ් රජුට පමණකි. ජුදෙව්වරුන් අතරේ ඔහු උත්තමයෙක් විය. සිය සහෝදර සමූහයාට ප්‍රිය මනාප කෙනෙක් ද විය. ඔහු සිය සෙනඟගේ ශුභසිද්ධිය සොයමින්, තමාගේ මුළු වංශයේ සාමදානය උදෙසා ක්‍රියා කෙළේ ය.</verse>
			</chapter>
		</book>
		<book number="18">
			<chapter number="1">
				<verse number="1">යටගිය දවස ජෝබ් නම් මනුෂ්‍යයෙක් ඌශ් දේශයෙහි වාසය කෙළේ ය. ඔහු වනාහි විනය ගරුක, අවංක, දේව භය ඇති, පවින් වැළකී සිටි කෙනෙකි.</verse>
				<verse number="2">ඔහුට පුත්‍රයෝ සත්දෙනෙක් ද දූවරු තුන්දෙනෙක් ද වූ හ.</verse>
				<verse number="3">සත්දහසක් බැටළුවෝ ද තුන්දහසක් ඔටුවෝ ද එක්දහසක් ගවමහිෂයෝ ද පන්සියයක් කොටළු දෙන්නු ද ඔහුට වූ හ. ඔහුට දැසිදැස්හු ද විශාල සංබ්‍යාවක් සිටියෝ ය. මේ සා මහත් ධන සම්භාරයක් ඇති අන් කිසිවෙක් මුළු පූර්ව දිශා භාගයෙහි නො වී ය.</verse>
				<verse number="4">ඔහුගේ පුත්‍රයෝ එකිනෙකා තම තමාට නියමිත දවසෙහි තම තමාගේ ගෙදර මංගල භෝජනයක් පිළියෙළ කිරීම ද ඊට සහභාගි වන ලෙස තම සහෝදරියන් තිදෙනාට ආරාධනා කිරීම ද ඔවුනොවුන්ගේ සිරිතක් ලෙස කළහ.</verse>
				<verse number="5">මංගල භෝජන සංග්‍රහ වටය නිම වූ එක එක වාරයේ දී ජෝබ් තම පුත්‍රයන් වෙත පණිවුඩ යවා ඔවුන් ගෙන්වා, ඔවුන්ගේ පවිත්‍රවීම පිණිස පසු දා අලුයම නැඟිට ඔවුන් එකිනෙකා වෙනුවෙන් දවන යාග පූජා පුද කෙළේ ය. එසේ කෙළේ, යම් හෙයකින් ඔවුන් තමන් සිතින් පව් කොට, නොදැනුවත් ව දේවාපහාස කිරීමේ වරදට වැටෙන්නට ඇද්දැ යි ජෝබ් සිතූ බැවිනි. හැම වාරයෙහි ම ඔහු මෙසේ කෙළේ ය.</verse>
				<verse number="6">තවද, එක් දිනෙක සගලොව රාජ සභාවෙහි ඇමති මණ්ඩලය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි රැස් වූ අවස්ථාවේ දී විරෝධකාරී සාතන් ද ඔවුන් අතර විය.</verse>
				<verse number="7">“නුඹ දැන් මෙහි පැමිණියේ කොහේ සිට දැ”යි සමිඳාණන් වහන්සේ සාතන්ගෙන් විචාළ සේක. සාතන් සමිඳාණන් වහන්සේට උත්තර දෙමින්, “මම මහ පොළොවේ තැනින් තැන සැරිසරා මෙහි ආවෙමි”යි කී ය.</verse>
				<verse number="8">එවිට සමිඳාණන් වහන්සේ, “මාගේ සේවක ජෝබ් ගැන සොයා බැලීමට නුඹට අවස්ථාවක් වී ද? ඔහු වැනි විනය ගරුක, අවංක, දේව භය ඇති, පවින් වැළකී සිටින අන් කිසි අයෙක් මුළු මහ පොළොවෙහි නැතැ”යි වදාළ සේක.</verse>
				<verse number="9">සාතන් උන් වහන්සේට පිළිතුරු දෙමින්, “ජෝබ් දේව ගරුබිය ඇති කෙනෙකු ව කල් යවන්නේ යම් හේතුවක් ඇති නිසා නොවේ ද?</verse>
				<verse number="10">ඔබ ඔහු ද ඔහුගේ පවුල ද සතු සකල සම්පත් වටා පවුරු බැඳ රැකවරණය දී නැද් ද? ඔහුගේ හැම වැඩ කටයුතුවලට ඔබ ආශිර්වාද කොට ඇත. එබැවින් දේශය මුළුල්ලෙහි ඔහුගේ සම්පත් අති විශාල ය.</verse>
				<verse number="11">හොඳයි, ඔබේ හස්තය දිගු කොට ඔහු සතු සියල්ලට පහර දී බලන්න. එසේ කළොත්, ඔහු ඔබේ මුහුණට ම ඔබට සාප කරනු ඇත. එය මට සිකුරු ය”යි පැවසී ය.</verse>
				<verse number="12">එවිට සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “හොඳයි, ජෝබ් සහ ඔහු සතු සියල්ල දැන් ඉතින් නුඹේ බලයට යට ය. හැබැයි, එකක් කියමි; ඔහුගේ ඇඟට පමණක් අත තබන්නට නුඹට අවසර නැතැ”යි සාතන්ට වදාළ සේක. එවිට සාතන් සමිඳාණන් වහන්සේ වෙතින් ඉවත් ව ගියේ ය.</verse>
				<verse number="13">එක් දිනක් ජෝබ්ගේ දූ පුතුන් තම වැඩිමහල් සහෝදරයාගේ නිවෙසෙහි ආහාර වළඳමින්, මුද්‍රික පානය බොමින් සිටිය දී මෙසේ සිදු විය:</verse>
				<verse number="14">පණිවුඩකාරයෙක් ජෝබ් වෙත වහා දිව අවුත්, “ගවමහිෂයන් සී සාමින් ද කොටළු දෙනුන් තණ කමින් ද සිටියදී</verse>
				<verse number="15">ෂෙබාවරු උන් වෙත කඩා පැන, උන් පැහැරගෙන ගියෝ ය. මෙහෙකරුවන් කඩුවෙන් මැරූ හ. මෙපවත් ඔබට සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.</verse>
				<verse number="16">ඔහු කතා කරමින් සිටියදී ම තවත් කෙනෙක් අවුත්, “අහසින් අකුණක් වැදී බැටළුවන් සහ එඬේරුන් පිට ඇවිළී ඔවුන් දවා දැමී ය. මෙපවත් ඔබට සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.</verse>
				<verse number="17">ඔහු කතා කරමින් සිටියදී ම තවත් කෙනෙක් අවුත්, “කල්දිවරු කණ්ඩායම් තුනකට සෑදී ඔටු රංචු වෙත පැමිණ පහර දී උන් පැහැරගෙන ගියෝ ය; මෙහෙකරුවන් කඩු පහරින් මරාදැමූ හ. ඔබට මෙපුවත සැළ කිරීමට ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.</verse>
				<verse number="18">ඔහු කතා කරමින් සිටියදී ම සතර වැනි කෙනෙක් ද අවුත්, “ඔබේ දූ පුතුන් තම වැඩිමහල් සහෝදරයාගේ නිවෙසෙහි ආහාර වළඳමින්, මුද්‍රික පානය බොමින් සිටියදී,</verse>
				<verse number="19">කාන්තාරය හරහා චණ්ඩ මාරුතයක් හමා අවුත් ගෙයි සතර කොණට වැදුණේ ය. එය දූ පුතුන් පිට කඩා වැටී ඔව්හු මළෝ ය. මේ පුවත සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.</verse>
				<verse number="20">මෙපවත් ඇසූ ජෝබ් නැඟිට, දුක දරාගත නොහැකි ව තම වස්ත්‍ර ඉරාගෙන, හිස මුඩු කොට, මුණින් වැටී වැඳ මෙසේ කී ය:</verse>
				<verse number="21">“මම කිසිත් නැති ව මව් කුසින් ආවෙමි; කිසිත් නැති ව පෙරළා යන්නෙමි. සමිඳාණෝ දුන් සේක; සමිඳාණෝ ගත් සේක; සමිඳුන් නමට ගරු පැසසුම් වේ වා.”</verse>
				<verse number="22">මේ සියල්ලේ දී ජෝබ් පව් කෙළේත් නැත, දෙවියන් වහන්සේ පිට දොස් තැබුවේත් නැත.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">නැවත සගලොව රාජ සභාවෙහි ඇමති මණ්ඩලය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි රැස් වූ විට සාතන් ද ඔවුන් අතර විය.</verse>
				<verse number="2">සමිඳාණන් වහන්සේ කතා කරමින්, “නුඹ දැන් මෙහි පැමිණියේ කොතැන සිට දැ”යි සාතන්ගෙන් විචාළ සේක. සාතන් සමිඳාණන් වහන්සේට උත්තර දෙමින්, “මම මහ පොළොවේ තැනින් තැන සැරිසරා මෙහි ආවෙමි”යි කී ය.</verse>
				<verse number="3">එවිට සමිඳාණන් වහන්සේ කතා කරමින්, “මාගේ සේවක ජෝබ් ගැන සොයා බැලීමට නුඹට අවස්ථාවක් වී ද? ඔහු වැනි විනය ගරුක, අවංක, දේව භය ඇති, පවින් වැළකී සිටින අන් කිසිවෙක් මුළු මහ පොළොවෙහි නැත. නිරපරාදේ ඔහු වනසාලීමට නුඹ මා පෙළඹෙවූ නමුත්, ඔහුගේ දේව භක්තිය කිසි සේත් තව ම අඩු වී නැතැ”යි සාතන්ට වදාළ සේක.</verse>
				<verse number="4">සාතන් ද උත්තර දෙමින්, “ඇඟ බේරාගෙන, පණ රැක ගැනුම පිණිස මිනිහෙකු නොදෙන දෙයක් ඇද් ද?</verse>
				<verse number="5">හොඳයි, ඔබේ හස්තය දිගු කොට ඔහුගේ ඇටකටු හා මාංසයට පහර දී බලන්න. එවිට ඔහු ඔබේ මුහුණට ම ඔබට සාප කරනු ඇතැ”යි කී ය.</verse>
				<verse number="6">එවිට සමිඳාණන් වහන්සේ කතා කරමින්, “හොඳයි, මම ඔහු නුඹ අතට බාර දෙමි. හැබැයි, ඔහුගේ ප්‍රාණයට නම් අත නොතියන්නැ”යි සාතන්ට වදාළ සේක.</verse>
				<verse number="7">සාතන් සමිඳාණන් වහන්සේ වෙතින් නික්ම ගොස්, ජෝබ්ගේ යටිපතුල පටන් හිස් මුදුන දක්වා ඇඟ හැම තැන ම දරුණු කුෂ්ඨයක් හටගන්වා ඔහුට වද දුන්නේ ය.</verse>
				<verse number="8">ජෝබ් අළු ගොඩේ වාඩි වී ඇඟ කසා ගැනීමට වළං කැබිලිත්තක් ගත්තේ ය.</verse>
				<verse number="9">එවිට ඔහුගේ භාර්යාව කතා කරමින්, “ඔය දේව භක්තිය පැවැත්තුවා මදි ද? දෙවියන්ට සාප කොට මැරෙණ එක වඩා හොඳ නැද්දැ”යි කීවා ය.</verse>
				<verse number="10">එහෙත්, ජෝබ් පිළිතුරු දෙමින්, “මෝඩ ගෑණියක වාගේ ඔබ කතා කරයි. අපි දෙවියන් වහන්සේ අතින් සැපත පිළිගනිමු නම්, විපතත් පිළිගත යුතු නොවේ දැ”යි ඇසී ය. මේ සියල්ලේ දී ම ජෝබ් වචන මාත්‍රයකින් වත් පව් කෙළේ නැත.</verse>
				<verse number="11">ජෝබ්ට මිතුරෝ තුන්දෙනෙක් වූ හ. තේමාන් නුවර එලිපස් ද ෂුහිය බිල්දද් ද නයමා නුවර ශෝපර් ද ජෝබ්ට පැමිණි දරුණු විපත්ති ගැන දැන ගත්හ. ඔහු දැක, ශෝකය ප්‍රකාශ කොට ඔහු සනසනු වස්, සිය ගම්රටවලින් ඔහු වෙත යාමට ඔව්හු නියම කරගත්හ.</verse>
				<verse number="12">ඔවුන් දුර තියා ජෝබ් දුටු විට ඔවුන්ට ඔහු හඳුනා ගත නොහැකි විය. එහෙත්, ඔහු හඳුනාගත් කෙණෙහි ම ඔව්හු මහ හඬින් හඬන්නට වූ හ. ශෝකයෙන් තමන්ගේ සළු ඉරා ගෙන තම හිස් පිට දූවිලි දමාගත්හ.</verse>
				<verse number="13">මෙසේ ඔව්හු රෑ සතකුත්, දවල් සතකුත් ඔහු සමඟ බිම වාඩි වී උන්හ. කිසිවෙක් ඔහුට වචන මාත්‍රයකුදු නොකී හ. මන්ද, ඔහුගේ ශෝකය ඉතා බලවත් බව ඔවුන් තේරුම්ගත් බැවිනි.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">ඉන්පසු මේ තාක් නිහඬ ව සිටි ජෝබ් තමා උපන් දිනයට සාප කරගනිමින්</verse>
				<verse number="2">මෙසේ කී ය:</verse>
				<verse number="3">“මා උපන් දිනයට සාප වේ වා! මා වැනි පිරිමි දරුවෙකු පිළිසිඳ ගත් රාත්‍රියට සාප වේ වා!</verse>
				<verse number="4">ඒ දවස අඳුරෙන් වැසේ වා! සගලොව දෙවිඳාණෝ එය නොතකා හරිත් වා! අරුණලු එහි නොදිළේ වා!</verse>
				<verse number="5">ඒ දවස, ගන’ඳුරින් හා තද කළු වැහි පටලින් වැසීයේ වා! හිරු මඬල ද මැකීයේ වා!</verse>
				<verse number="6">ඒ රාත්‍රිය, ගන’ඳුරින් වැසීයේ වා! අවුරුද්දේ දවස්වලත්, මාසයේ දවස්වලත් එය මකා දමනු ලැබේ වා!</verse>
				<verse number="7">එවන් රැයක, වෙන දරු උපතක් සිදු නො වේ වා! සතොස වඩන කිසි හඬකුත් නො වේ වා!</verse>
				<verse number="8">මුහුදු සතුන්, දිය රකුසන්, මන්ත්‍ර බලයෙන් මැඬලන අය එදිනට සාප කරත් වා!</verse>
				<verse number="9">ඒ දවස හිරු බැස යන කල අහසෙහි තරු නොදිළේ වා! එළිය ලැබෙන පැතුම සුන් වේ වා! අරුණලු උදා නො වේ වා!</verse>
				<verse number="10">මේ සියල්ල, මෙසේ සිදු විය යුත්තේ, මවු කුසෙන් මා බිහි වී දුක දැක්මෙන් මා නොවැළැක් වූ බැවිනි.</verse>
				<verse number="11">මවු කුසේ දී ම මා නොමළේ මන් ද? කුසෙන් නික්ම ආ විගස ම මාගේ පණ නොගියේ මන් ද?</verse>
				<verse number="12">මවු තුරුල්ලට මා පිළිගත්තේ කුමට ද? මවගේ ළයෙහි මව් කිරි මට පෙව්වේ කුමට ද?</verse>
				<verse number="13">මම් එසේ මළෙම් නම්, දැන් නිසංසල ව මිනීවළෙහි මට ඉන්න තිබිණි; කරදරයක් කිසිත් නැති ව මරණ නින්දට යන්න තිබිණි.</verse>
				<verse number="14">එසේ වී නම්, නැති වී යන රාජ මාලිගා ඉදි කළ නිරිඳුන් සහ ඇමතිවරුන් සමඟ මටත් සැතපෙන්නට තිබිණි.</verse>
				<verse number="15">සිය මැදුරු රන් රිදීයෙන් පුරවාගත් කුමරුන් සමඟ ද මට සැතපෙන්නට තිබිණි.</verse>
				<verse number="16">මෙලොව එළිය නුදුටු දරුවන් මෙන් ගබ්සා වී මා මිය නොගියේ මන් ද?</verse>
				<verse number="17">සොහොනෙහි පවිටු දනන් තම පව්කම් නිම කර ඇත; වෙහෙසට පත් කම්කරු දනන් සිය වෙහෙසින් තොර වී ඇත.</verse>
				<verse number="18">සිරකරුවන් හට සොහොනෙහි සාමය ඇත; අණ දෙන නිලධාරීන්ගේ කට හඬ දැන් ඇසෙන්නේ නැත.</verse>
				<verse number="19">සොහොන් ගැබ තුළ ලොකු කුඩා සියල්ලෝ එක හා සමාන ය; වහලා තම ස්වාමියාගෙන් නිදහස් ය.</verse>
				<verse number="20">“එතුමා දුකින් සිටින අයට එළිය දෙන්නේ මන් ද? සොවින් පෙළෙන අයට දිවි දෙන්නේ මන් ද?</verse>
				<verse number="21">
					ඔව්හු මරු එන තුරු බලා සිටිති; එහෙත්, මරු එන්නේ නැත.
					අන් සැම සම්පතට වඩා ඔව්හු සොහොන අගේ කරති.
				</verse>
				<verse number="22">සොහොනට යෑම ඔවුන්ට සතුටකි; මිනීවළට යන විට ඔව්හු ප්‍රිය හඬ දෙති.</verse>
				<verse number="23">දෙවි තුමන් හැම අතින් ම හිර කර සිටින, තමා යා යුතු මඟ නොපෙනෙන මිනිසා උපත ලැබුවේ මන් ද?</verse>
				<verse number="24">මාගේ ආහාරය සුසුම් කඳුළු පමණකි; මාගේ කෙඳිරිගෑම, ගලා බසින දිය දහරකි.</verse>
				<verse number="25">මා බියජනක දේ මට පැමිණ ඇත. මා තැති ගන්වන හැම දේ මා පිට වැටී ඇත.</verse>
				<verse number="26">මාගේ සිතට ශාන්තියක්, සැනසිල්ලක් කොහෙත් ම නැත; මාගේ දුකට අවසානයක් ඇත්තේ ම නැත.”</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">එවිට තේමානීය එලිපස් පිළිතුරු දෙමින් මෙසේ කී ය:</verse>
				<verse number="2">“මා ඔබට වචනයක් කීවොත්, එය ඔබට කරදරයක් වේ ද? අනේ! මා තවත් දුරට නිහඬ ව සිටින්නේ කෙසේ ද?</verse>
				<verse number="3">ඔබ, බොහෝ අයට දිරිය දුන් හැටිත්, දුබල අයට සවිය දුන් හැටිත් සිතා බලන්න.</verse>
				<verse number="4">පැකිළෙන අය ඔවා බසින් තිර කොට වැනෙන, සැලෙන දෙදණ සවි කළ හැටි සිතා බලන්න.</verse>
				<verse number="5">එහෙත්, දැන් ඔබ විපතට පත් වී ඇත; ඔබට ඉවසිල්ලක් නැත. විපත ඔබ වෙත පැමිණ ඇත; ඔබ කැළඹී ඇත.</verse>
				<verse number="6">ඔබේ ආගමෙන් ඔබට සැනසුමක් නැද් ද? දැහැමි ජීවිතයෙන් ඔබට බලාපොරොත්තුවක් නැද් ද?</verse>
				<verse number="7">නිදොස් කෙනෙකු විපතට පත් වූ බව ඔබ අසා ඇද් ද? දැහැමි අය විනාශයට පත් වූ දවසක් ඔබට මතක ඇද් ද?</verse>
				<verse number="8">මා දැක ඇති ලෙස නම්, අදමිටුකම සී සාමින් අයුක්තිය වපුරන අය, ඒවා ම නෙළා ගනිති.</verse>
				<verse number="9">දෙවිඳුන්ගේ එක හුස්මෙන් පවිටු දනෝ වැනසී යති. එතුමන්ගේ උදහස් මාරුතයෙන් ඔව්හු සැම ම පහ වී යති.</verse>
				<verse number="10">සිංහයාගේ ගර්ජනය ද රුදුරු සිංහ රජුගේ ගෙරවීම ද පහ වී ඇත; සිංහ පෝතකයාගේ දත් ඇදී බිඳී ඇත.</verse>
				<verse number="11">සිහ රද ගොදුරක් නොලැබ මිය යයි. සිහදෙනගේ පෝතකයෝ හිස් ලූ ලූ අත විසිර දුවති.</verse>
				<verse number="12">මට එක් කරුණක් රහසින් හෙළි වී ඇත; එහි සියුම් නාදය මා සවනෙහි රැව් දෙයි.</verse>
				<verse number="13">
					මිනිසා රෑ යාමයෙහි බර නින්දට පත් ව, ස්වප්න දකින විට, ගැඹුරු සිතුවිලි උදා වන විට,
				</verse>
				<verse number="14">මා සිරුරෙහි ඇටකටු සැලෙන්නට විය. භීතිය හා කැළඹීම ද මට ඇති විය.</verse>
				<verse number="15">මඳ පවනක් මා මුහුණට වැදිණි. එයින් මා සිරුරෙහි හිරිගඩු පිපිණි.</verse>
				<verse number="16">යමෙක් අවුත් මා ළඟ නැවතුණේ ය. එහෙත්, ඔහුගේ මුහුණුවර මට හඳුනාගත නොහැකි විය. ඒ රූපය මා අබිමුව විය; අවට නිහඬතාව බිඳ දමමින් මෙවන් හඬක් ඉන් නිකුත් විය.</verse>
				<verse number="17">දෙවිඳුන් අබිමුව කිසිවෙකුට තමා නිදොස් යැයි සිතිය හැකි ද? සිය මැවුම්කරු අබිමුව පිවිතුරු කෙනෙක් සිටිත් ද?</verse>
				<verse number="18">එතුමාණෝ සිය මෙහෙකරුවන් කෙරේ වත් විශ්වාසය නොතබන සේක; දේව දූතයන් හට වුව ද දොස් නඟන සේක.</verse>
				<verse number="19">එසේ නම්, පොළොවේ දූවිල්ලෙහි තනන ලද මැටි ගෙවල වසන අය ගැන කියනුම කවරේ ද? ඔව්හු කාවුන් මෙන් පොඩි කරනු ලබති.</verse>
				<verse number="20">උදය සිට සවස වන තුරු ඔව්හු වැනසී යති; කිසිවෙකුගෙන් සැලකිලි නොලැබ ඔව්හු සදහට ම වැනසී යති.</verse>
				<verse number="21">ඔවුන් සතු සියලු දේ පැහැරගෙන ඇත. කිසි දා ප්‍රඥාව වත් නොලබා ඔව්හු මියයති.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">“දැන් ඉතින් හඬගා බලන්න. පිළිතුරු දෙන කෙනෙක් ඇද් ද? සගලොව කවර දේව දූතයෙකු වෙත ඔබ හැරෙන්නෙහි ද?</verse>
				<verse number="2">දැඩි අමනාපය නිසා අනුවණයා නැසීයන්නේ ය. කෝපය නිසා මෝඩයා මියයන්නේ ය.</verse>
				<verse number="3">අඥානයා මුල දී සාර්ථක වන සැටි මා දැක ඇත; එහෙත් සැණෙකින් ඔහුගේ නිවෙසට සාපය පැමිණෙයි.</verse>
				<verse number="4">ඔහුගේ දරුවන්ට සුරැකියාවක් නැත; නඩුහබවල දී පිහිට වන්න කිසිවෙක් නැත. උසාවියේ දී ඔවුන් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් නැත.</verse>
				<verse number="5">අනුවණයන් රැස් කරන අස්වැන්න සාගිනි ඇති අය කාදමති; කටු අතර වැඩුණු ධාන්‍ය වුව ද ඔව්හු කපා ගනිති; තණ්හා ඇති අය ඔවුන්ගේ වස්තුව පැහැරගන්නට බලා සිටිති.</verse>
				<verse number="6">විපත පොළොවේ පසින් හට නොගනියි; දුක භූමියෙන් මතු නොවෙයි.</verse>
				<verse number="7">ගිනි පුපුර ගිනි මැලයෙන් ම ඉහළ නඟින්නාක් මෙන් මිනිසාගේ දුක මිනිසාගෙන් ම පැමිණෙයි.</verse>
				<verse number="8">එහෙත්, මම නම්, දෙවි තුමන් වෙත හැරී මාගේ නඩුව එතුමන්ට බාර කරමි.</verse>
				<verse number="9">එතුමන්ගේ ප්‍රබල ක්‍රියා අචින්ත්‍ය ය; අරුමපුදුම දේ අසංබ්‍ය ය.</verse>
				<verse number="10">දෙවි තුමාණෝ මහ පොළොවට වැසි වස්වන සේක; කෙත්වතු පිට දිය වගුරුවන සේක;</verse>
				<verse number="11">එතුමාණෝ පහත් අය උසස් කරන සේක. ශෝක වන්නන්ට ප්‍රීතිය ගෙන දෙන සේක.</verse>
				<verse number="12">එතුමාණෝ කපටින්ගේ උපා වළකන සේක; ඔවුන්ගේ හැම ප්‍රයෝග ව්‍යර්ථ කරන සේක.</verse>
				<verse number="13">
					කපටින් ඔවුන්ගේ ම උපාවලින් අසුකරගන්න සේක;
					ශූරයින්ගේ කුමන්ත්‍රණ සැණෙකින් බිඳ දමන සේක.
				</verse>
				<verse number="14">මහ දවාල ඔවුන්ට තිත්ත කළුවරක් වේ; මද්දහනේ දී රෑ කාලයේ දී මෙන් ඔව්හු අතපත ගාමින් ගමන් කරති.</verse>
				<verse number="15">එතුමාණෝ දිළිඳුන් කඩුපතින් ද දුබලුන් බලවතුන්ගෙන් ද ගළවාගන්න සේක.</verse>
				<verse number="16">මෙසේ දිළිඳුන් හට පැතුමක් ඇත; අදමිටු දන නිහඬ වනු ඇත.</verse>
				<verse number="17">
					දෙවි තුමන්ගෙන් දඬුවම් ලබන මිනිසා වාසනාවන්ත ය.
					සව් බලැති දෙවි තුමන්ගේ තරවටුවට පිටුපා නොයන්න.
				</verse>
				<verse number="18">
					තුවාළ කරන්නේත් එතුමාණෝ ය;
					තුවාළ බඳින්නේත් එතුමාණෝ ය; වේදනාව ඇති වන්නේත් එතුමන්ගේ අතින් ය; සුවය ලැබෙන්නේත් එතුමන්ගේ ම අතින් ය.
				</verse>
				<verse number="19">පිට පිට විපත් පැමිණියත් එතුමාණෝ ඔබ ගළවන සේක; පිට පිට විපත් පැමිණියත් ඔබට අනතුරක් නොවනු ඇත;</verse>
				<verse number="20">සාගත සමයෙහි එතුමාණෝ ඔබ මරණින් මුදාගන්න සේක; සටන් සමයෙහි කඩු මුවහතින් ඔබ ගළවාගන්න සේක.</verse>
				<verse number="21">බොරුවෙන් හා වැරදි චෝදනාවෙන් ඔබ රැක ගනු ඇත; විනාශයෙන් සිතට භීතියක් නොවනු ඇත;</verse>
				<verse number="22">විපත ද සාගතය ද දැක ඔබ සිනාසෙනු ඇත; වග වලසුන්ගෙන් බියක් ඔබට නැත;</verse>
				<verse number="23">ඔබේ කෙත් යායෙහි ගල් මුල් නැත; වන සිවුපාවුන්ගෙන් පීඩාවක් නැත;</verse>
				<verse number="24">ඔබේ කූඩාරමෙහි සාමය වැජඹෙන බව ඔබ දන්නෙහි ය; බැටළු ගාලෙන් කිසිදු සතෙකු නැති නොවන බව ඔබ දන්නෙහි ය.</verse>
				<verse number="25">ඔබේ දරු පරපුර වැඩි වනු ඇත; මහා පොළොව මත තණ පත් මෙන් වැඩි වනු ඇත;</verse>
				<verse number="26">නියම කන්නයේ පැසුණු ගොයම් මිටියක් මෙන් ඔබ දිගායු වළඳා මිය යනු ඇත;</verse>
				<verse number="27">කිරි ගසට ඇන්නාක් මෙන් මේවා සැබෑ බව අත්දැකීමෙන් අපි දනිමු. ඔබත් විමසා බලා මේවා ඔබේ යහපතට බව ඔබ ම දැනගන්න.”</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය: “අනේ! මාගේ සෝදුක් මනින්නටත්, මාගේ විපත් තරාදියේ කිරා බලන්නටත් ඇත්නම්, කොතරම් හොඳ ද?</verse>
				<verse number="2">***</verse>
				<verse number="3">කිරා බැලුවොත්, ඒවා මුහුදේ වැලිවලට වඩා බර ය; මා සැර පරුෂ වචන පැවසීම පුදුමයක් ද?</verse>
				<verse number="4">සව් බලැති දෙවිඳුන්ගේ ඊතල මා තුළට වැදී ඇත; ඒවායේ වස විස මසිතට කා වැදී ගොස් ඇත. දෙවි තුමන්ගේ බියකරු ක්‍රියා මට එරෙහි ව පෙළගැසී ඇත.</verse>
				<verse number="5">තණ කොළ තිබේ නම්, වල් කොටළුවාගේ රාවයක් ඇද් ද? පිදුරු තිබේ නම්, ගොනා තප්පුලයි ද?</verse>
				<verse number="6">ලුණු නැති නීරස අහර වළඳන්නේ කවරෙක් ද? බිත්තර සුදු මදයේ කවර රසක් ඇද් ද?</verse>
				<verse number="7">එවන් කෑම කන්නට මට ප්‍රිය නැත; මා කන හැම දේ ම මට අප්‍රිය වේ.</verse>
				<verse number="8">මාගේ යැදුම ඉටු වුවහොත්, මාගේ පැතුම දෙවි තුමන් ඉටු කළහොත් කොතරම් හොඳ ද?</verse>
				<verse number="9">දෙවි තුමාණෝ මාගේ ඇට කටු බිඳ, සිය අත දිගු කොට මා වනසන සේක් වා!</verse>
				<verse number="10">එසේ කළොත්, මට සැනසිල්ලක් ඇත; මාගේ දැඩි දුක මැද මම සතුටින් නටන්නෙමි. මන්ද, කිසි දාක මම ශුද්ධ දෙවිඳුන්ගේ වචනය ප්‍රතික්ෂේප නොකෙළෙමි.</verse>
				<verse number="11">මාගේ දිවි ගෙන යාමට කුමන ශක්තියක් මට ඇද් ද? මරණය මට නියත නම්, ජීවත් වීමෙන් වැඩක් මට ඇද් ද?</verse>
				<verse number="12">ගල් බඳු සවියක් මට ඇද් ද? මාගේ සිරුර ලෝකඩයෙන් තනා ඇද් ද?</verse>
				<verse number="13">විපතින් මිදෙන්නට මා තුළ ම ශක්තියක් නැත; පිහිටක් සොයමින් කොයි අත යම් ද?</verse>
				<verse number="14">මා දෙවිඳුන් අත්හැරියත්, නැතත්, මෙවන් දුකේ දී හිත මිතුරෝ අවශ්‍ය වෙත්.</verse>
				<verse number="15">එහෙත්, මා මිතුරන් වන ඔබ ඔයක් මෙන් ද ඉඩෝරයේ දී වේළී යන දිය කඩක් මෙන් ද මා රැවටුවහු ය.</verse>
				<verse number="16">ඔයවල් හිමෙන් බොර පාට වී හිම කැටිවලින් වැසී යනු ඇත.</verse>
				<verse number="17">ගංවතුර ගැලිය යුතු කාලයේ දී ඒවා අතුරුදහන් වී, ගිම්හානයේ දී දිය පතුලට ම හිඳී යයි.</verse>
				<verse number="18">තවලම්කරුවෝ වතුර සොයමින් වෙන පාරක යති. එසේ ගොස් මරුකතරෙහි විනාශ වෙති.</verse>
				<verse number="19">තේමාහි තවලම්කරුවෝ වතුර සෙවුවෝ ය; ෂෙබාහි මඟියෝ වතුර බලාපොරොත්තු වූ හ.</verse>
				<verse number="20">ඔවුන්ගේ පැතුම් බිඳ වැටිණි; එතැනට පැමිණි විට ඔව්හු වියවුල් වූ හ.</verse>
				<verse number="21">විපතක් දැක බිය වන මා මිතුරන් වන ඔබ මට එවන් ඔයවල් වැන්න.</verse>
				<verse number="22">මට යමක් දෙන්න කියා වත් මා වෙනුවෙන් අල්ලසක් දෙන්න කියා වත්,</verse>
				<verse number="23">රුපුන් අතින් මා මුදන්න කියා වත්, දාමරිකයන්ගේ අතින් මා ගළවන්න කියා වත් මම කිසි දා ඔබට කීවෙම් ද?</verse>
				<verse number="24">හොඳයි! ඔබ මට ඔවදන් දෙන්න; මාගේ වැරදි පෙන්වා දෙන්න; මම නිහඬ ව සිට ඔබට සවන් දෙන්නෙමි.</verse>
				<verse number="25">නැණවත් අවවාදය කොතරම් වැඩදායක ද? එහෙත්, ඔබ නඟන තර්කයෙන් මට කුමන වැඩක් ද?</verse>
				<verse number="26">මා කියන්නේ, පුහු වචනය කියා ඔබ සිතන්නහු ද? එසේ නම්, පැතුම් සුන් වූ කෙනෙක් කුමන පිළිතුරු බලාපොරොත්තු වන්නේ ද?</verse>
				<verse number="27">ඔබ බලන්නේ, කාත් කවුරුත් නැති කෙනෙකු දාදු දමා අයිති කරගන්නට ද? සිය මිතුරා වෙළෙඳ බඩුවක් ලෙස තක්සේරු කරන්නහු ද?</verse>
				<verse number="28">ඉතින් කරුණාකර මා දෙස බලන්න. ඔබේ මුහුණට ම මම බොරු නොකියමි.</verse>
				<verse number="29">ඔය කිව්වා හොඳට ම ඇති! මා ගැන අයුතු කතා නවත්වන්න; මාගේ පැමිණිල්ල යුක්ති සහගත ය; මට වරද නොතබන්න.</verse>
				<verse number="30">මා බොරු කියති යි ඔබ තවමත් සිතන්නහු ද? ඇත්ත නැත්ත තීරණයට මට පුළුවන්කමක් නැද් ද?</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">“මිහි මත මිනිස් ජීවිතය සටනක් නොවන්නේ ද? එය දවසේ කුලියට වැඩ කරන කුලීකරුවෙකුගේ දිවිය මෙන් නොවේ ද?</verse>
				<verse number="2">තුරු සෙවණෙහි විවේකය සොයන වහලෙකු මෙන් ද වැටුප ගෙවන තුරු බලා හිඳින කුලීකරුවෙකු මෙන් ද</verse>
				<verse number="3">මසින් මසට පාළු සිතින් කල්යැවීමට මට නියම ව ඇත; රැයින් රැය මම දුකින් දුකට පත්වන්නෙමි.</verse>
				<verse number="4">මම නින්දට යන කල, ‘රැය ගෙවී කොයි වේලේ නැඟිටිම් දැ’යි කියා ගනිමි. පහන් වන තුරු ඒ මේ අත පෙරළෙමින් සිටින්නෙමි.</verse>
				<verse number="5">මා සිරුරෙහි සෑම තැන ම පණුවෝ ඇත; මාගේ ඇඟ හැම තැන හොරිවලින් වැසී ඇත; මාගේ වණවලින් සැරව ගලා යනු ඇත.</verse>
				<verse number="6">බලාපොරොත්තු රහිත ව මම දවස් යවමි; ඒවා නූල් කටින නඩාව මෙන් යුහුව දුව යයි.</verse>
				<verse number="7">“දෙවි සමිඳුනි, මාගේ දිවිය සුළං රොදක් පමණක් බව සිහි කරන්න; වාසනාව මින් මතු මා නොදකිනු ඇත.</verse>
				<verse number="8">දැන් ඔබ මා දකින දෙනෙත් යළි කිසි දා මා නොදකිනු ඇත; ඔබේ දෙනෙත් මා සොයතත්, මින්පසු මා දක්නට නැත.</verse>
				<verse number="9">නැති වී නොපෙනී යන වලාකුළක් විලසින් පාතාලයට බැස යන මිනිසා ආපසු නැඟී නොඑයි.</verse>
				<verse number="10">සිය නිවෙසට ඔහු හැරී නොඑයි; ගෙදර උදවිය තවත් ඔහු නොදකිති.</verse>
				<verse number="11">“මට නම්, කට වසාගෙන ඉන්න බැරි ය; දැඩි සිත් තැවුළින් මම කතා කරමි. මා හද තුළ ඇවිලෙන සෝගින්නෙන් විලාප කියමි.</verse>
				<verse number="12">ඇයි මා වටකර මුර කරගෙන ඉන්නේ? මම දිය රකුසෙක් ද? මහ මුහුදේ නාගයෙක් ද?</verse>
				<verse number="13">‘මාගේ ඇඳෙහි මම සහනය ලබමි. මාගේ යහනෙහි සෝදුක නැති කරගනිමි’යි මම සිතන්නෙමි.</verse>
				<verse number="14">එවිට, ඔබ ස්වප්නවලින් මා බිය ගන්වන සේක; දර්ශනවලින් මා තැති ගන්වන සේක.</verse>
				<verse number="15">මෙසේ ජීවත් වීමට වැඩියෙන් ගෙල මිරිකා මරණු ලැබීම මට හොඳ ය; මෙවන් දුක් රාශියට වඩා මරණය යෙහෙකි.</verse>
				<verse number="16">මට කිසි පැතුමක් නැත; මට ජීවිතය තිත්ත වී ඇත; මට හුදකලා ව ඉන්නට ඉඩ දුන මැනව. මාගේ දිවිය සුළං රොදක් පමණකි.</verse>
				<verse number="17">
					ඔබ මිනිසා ගැන මෙතරම් ඉහළින් සලකන්නටත්, ඔහු වෙත ඔබ සිත යොමුකරන්නටත්,
				</verse>
				<verse number="18">උදයෙන් උදය, මොහොතින් මොහොත ඔහු සෝදිසි කරන්නටත් මිනිසා කවරෙක් ද?</verse>
				<verse number="19">මොහොතකට වත් ඔබ මා කෙරෙන් ඔබේ බැල්ම ඉවතට නොගන්න සේක් ද? කෙළ පිඬ ගිලින තෙක් වත්, ඔබ මට ඉන්නට ඉඩ නොදෙන සේක් ද?</verse>
				<verse number="20">මුරකාරයාණෙනි, මාගේ පවින් ඔබට වරදක් වී ද? ඔබේ දුන්නට මා ඉලක්කයක් කර ගත්තේ මන් ද? ඔබ හට මා එතරම් බරක් වී ද?</verse>
				<verse number="21">ඔබ මාගේ වරදට කමා වී, මාගේ අයුතුකම පහනොකරන්නේ මන් ද? යුහුව මා දූවිල්ලට හැරෙනු ඇත. ඔබ මා සෙව්වත් මා දක්නට නැත.”</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">එවිට ෂුහිය බිල්දද් මෙසේ කී ය: “හමන සුළඟක් වැනි</verse>
				<verse number="2">ඔබේ ප්‍රලාප දෙඩීම දැන් වත් ඉවරයක් නැද් ද?</verse>
				<verse number="3">දෙවි තුමාණෝ යුක්තිය අයුක්තියට පෙරළන සේක් ද? සව් බලැති දෙවිඳුන් නඩුව අවනඩුව කරනු ඇද් ද?</verse>
				<verse number="4">ඔබේ දූ දරුවන් දෙවිඳුන්ට විරුද්ධ ව පව් කළ බැවින්, ඔවුන්ට දෙවිඳාණෝ නිසි දඬුවම දුන් සේක.</verse>
				<verse number="5">දැන් ඉතින්, ඔබ උනන්දුවෙන් දෙවිඳුන් සොයා, සව් බලැති එතුමන්ට කන්නලව් කරන්නෙහි නම්,</verse>
				<verse number="6">ඔබ නිදොස් ව, අවංක ව සිටින්නෙහි නම්, සැබැවින් එතුමාණන් ඔබ වෙනුවෙන් පිබිද, ඔබේ දැහැමි නිවෙසට ආසිරි වස්වනු ඇත.</verse>
				<verse number="7">“ඔබේ පටන්ගැන්ම සුළු වුව ද අවසානය උසස් වනු ඇත.</verse>
				<verse number="8">ඔබේ පැරණියන් විමසා, මුතුන්මිත්තන් අත්දුටු දෙයට සිත යොදන්න.</verse>
				<verse number="9">අද ඊයේ උදවිය වන අපි කුමක් දනිමු ද? මිහි මත අප දිවිය පහ ව යන සෙවණැල්ලක් මෙන් ය.</verse>
				<verse number="10">එහෙත්, ඒ පැරණියෝ තමන් රැස් කර දැනගත් ප්‍රඥාවෙන් අපට කතා කරති; ඔවුන්ට සවන් දෙන්න.</verse>
				<verse number="11">“මඩ වගුරු නැති තැන තුන්හිරියා මනා ව වැවෙනු ඇද් ද? ගොහොරු බිමක් නැති තැන වැටකෙයියා වැවෙනු ඇද් ද?</verse>
				<verse number="12">අමු අමුවේ තිබිය දී ම කැපුවත්, අන් පලා ජාතීන්ට කලින් ඒවා වියළී යනු ඇත.</verse>
				<verse number="13">දෙවිඳුන් අමතක කරන කොයි මිනිසාගේත් ඉරණම එසේ ම වේ. දෙවිඳුන් නොහඳුනන්නාගේ පැතීම ද එසේ ම වැනසී යන්නේ ය.</verse>
				<verse number="14">ඔවුන්ගේ විශ්වාසය නූල් පොටක් මෙන් කැඩී යයි; ඔවුන් අදහන දෙය මකුළු දැලක් හා සමාන ය.</verse>
				<verse number="15">මකුළු දැලට ඔවුන් හේත්තු වුණොත්, එයට ඔවුන් වාවා ගත හැකි ද? නූල් පොටේ එල්ලුණොත් එයට ඔවුන් දරා ගත හැකි ද?</verse>
				<verse number="16">නපුරු දනෝ හිරු එළියේ සශ්‍රීක වන, වත්ත පුරා විහිදී යන වල් පැළෑටි වැන්න.</verse>
				<verse number="17">ඒවායේ මුල්, ගල් ගොඩේ එතෙනු ඇත; ගල් ඉඩමේ දුව යනු ඇත.</verse>
				<verse number="18">යම් කිසිවෙකු ඒවා එතැනින් උදුරා දැමුවොත්, ඒවා එතැන තිබූ බව වත් කිසිවෙක් නොදනිති.</verse>
				<verse number="19">ඉන් ඇති වන ප්‍රීතිය නම්, එම බිමෙන් අන් පැළෑටි මතු වීම ය.</verse>
				<verse number="20">දෙවි තුමන් නිදොස් කෙනෙකු ඉවත ලන්නේ වත්, නපුරෙකු සමඟ සමගි වන්නේ වත් නැත.</verse>
				<verse number="21">එතුමාණෝ ඔබ මුව සිනා රැල්ලෙන් ද ඔබ දෙතොල සතුටු ගීතයෙන් ද සරසන සේක.</verse>
				<verse number="22">ඔබේ සතුරන්ට අපකීර්තිය අත් වේ; දුදනන්ගේ නිවහන අතුරුදහන් වේ.”</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">එවිට ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:</verse>
				<verse number="2">
					“ඔය සියල්ල ඇත්ත ම බව මම හොඳින් දනිමි.
					එතුමන්ට විරුද්ධ ව පැමිණිල්ලක් කර මිනිසෙකුට ජයගත හැකි ද?
				</verse>
				<verse number="3">පැමිණිලිකරු මෙන් මිනිසාට දෙවිඳුන් සමඟ වාද කළ හැකි ද? එතුමන් අසන ප්‍රශ්න දහසකින් එකකට වත් මිනිසාට පිළිතුරු දිය හැකි ද?</verse>
				<verse number="4">දෙවිඳාණෝ ප්‍රඥාසම්පන්න ය; සර්ව බලධාරී ය. එතුමන්ට එරෙහි ව කිසිවෙකුට ජයගත හැකි වේ ද?</verse>
				<verse number="5">එතුමාණෝ හිටි හැටියේ ගිරිකුළු දෙදරවා හරින සේක; සිය උදහසින් ඒවා පෙරළා දමන සේක;</verse>
				<verse number="6">මහ පොළොවේ පදනම් කම්පා කරවන සේක; එහි කණු සොලවන සේක;</verse>
				<verse number="7">එතුමාණන් අණ කළහොත්, හිරු උදා නොවන්නේ ය; තරු සඟවා වසා ලීමට එතුමාණන්ට හැකි වන්නේ ය.</verse>
				<verse number="8">ඒ උතුමාණෝ පමණක් ම අහස් තලය දිග හරින සේක; මහ සයුර පිට ඇවිදින සේක.</verse>
				<verse number="9">
					මහ වලසා ද මුව සිරස ද හත්දින්න ද දකුණු දිග තාරකා ද මැවූ සේක.
				</verse>
				<verse number="10">මිනිස් මනසින් සොයාගත නොහැකි මහත් දේ ද ගණනාවක් නොමැති අසිරිමත් දේ ද කරන සේක.</verse>
				<verse number="11">මා ළඟින් ම වැඩියත්, එතුමන් මට පෙනෙන්නේ නැත; මා පසු කොට ගියත් මට දකින්න නොහැකි ය,</verse>
				<verse number="12">දෙවි තුමන් යමක් ගන්න කල එය වැළැක්විය හැකි සමතා කවරෙක් ද? ‘ඔබ ඔය කරන්නේ කුමක් දැ’යි පවසන්නට කාට හැකි ද?</verse>
				<verse number="13">දෙවි තුමන්ගේ උදහස නිරතුරු ව ම පවතිනු ඇත; රාහබ් නම් දියරකුසාගේ සහචරයෝ එතුමන් හට අවනත වෙති.</verse>
				<verse number="14">එසේ නම්, එතුමන් සමඟ සුදුසු වචනින් වාද විවාද කිරීමට හැකියාවක් මට ඇද් ද?</verse>
				<verse number="15">මා නිදොස් වුව ද එතුමන්ට උත්තර දීමට මම අපොහොසත් වෙමි. මම විනිසකරුගෙන් දයාව පතමි.</verse>
				<verse number="16">මා එතුමන් ඇමතූ විට එතුමන්ගෙන් පිළිතුරක් ලැබුණේ ය. එතුමාණෝ මට සවන් දෙන සේකැ යි විශ්වාස කළ හැකි ද?</verse>
				<verse number="17">එතුමාණෝ සැඬ සුළඟින් මට පහර දී තව තවත් මට නිකරුණේ තුවාළ කරන සේක.</verse>
				<verse number="18">එතුමාණෝ මට හුස්ම ගන්නට වත් ඉඩ නොදී සිත් තැවුළින් මා පුරවන සේක.</verse>
				<verse number="19">ශක්තිය ගැන සිතමු නම්, එය ඇත්තේ එතුමන්ට ය. මා ගැන යුක්තිය විසඳීම උදෙසා එතුමන් කැඳවීමට සමතා කවරෙක් ද?</verse>
				<verse number="20">‘මම නිදොස් වෙමි’යි මා කටින් කීවත්, මාගේ ම වචනය මා වරදට පත් කරයි. මාගේ හැම උත්තරයක් ම මා වරදකරුවෙකු කරයි.</verse>
				<verse number="21">මා නිදොස් වුවත්, ජීවිතයෙන් මට කමක් නැත; ජීවිතයෙන් මට වැඩක් නැත.</verse>
				<verse number="22">මට කොයි එකත් එක ය. වැරදි වුවත්, නිවැරැදි වුවත් දෙවි තුමන් අප විනාශ කරන බව මට පෙනේ.</verse>
				<verse number="23">විපතින් හදිසි මරණය එන විට නිදොස් අයගේ විපත්තිය ගැන එතුමාණෝ සිනාසෙන සේක.</verse>
				<verse number="24">ලෝකය කුදිටු අය අතට බාර දී තිබේ; විනිසකරුවන්ගේ ඇස් අන්ධ කර ඇත. එසේ නොවේ නම්, මෙසේ වන්නේ කෙසේ ද?</verse>
				<verse number="25">මාගේ කල දවස, දුවන පණිවුඩකාරයෙකුට වඩා වේගයෙන් ගෙවෙයි. එය හොඳක් නොදැක පලා යයි.</verse>
				<verse number="26">මාගේ දිවිය වේගයෙන් යන නැවක් මෙන් ද ගොදුර පිට කඩා වදින රාජාලියෙකු මෙන් ද පහ ව යයි.</verse>
				<verse number="27">මාගේ විලාපය අමතක කොට, ‘මම මාගේ දොම්නස් පෙනුම සොම්නසට වෙනස් කරමි’යි කීවත්,</verse>
				<verse number="28">මම මාගේ සියලු දුක්ගැනවිලිවලට බියෙන් සිටිමි. මා නිදොස් ලෙස ඔබ ගණන් නොගන්න බව මම දනිමි.</verse>
				<verse number="29">‘නුඹ වරදකරුවෙකැ’යි ඔබ වදාරන සේක් නම්, මාගේ වෙහෙස වීමෙන් වැඩක් ඇද් ද?</verse>
				<verse number="30">සුදු හිම දියෙන් නා ගෙන මාගේ දෑත කොතරම් සුදෝ සුදු කරගත්තත්,</verse>
				<verse number="31">ඔබ මා මඩ වළට හෙළන සේක. මාගේ ම ඇඳුම් මට ම පිළිකුලකි.</verse>
				<verse number="32">එතුමන්ට කට උත්තර දෙන්නට වත්, එතුමන් සමඟ උසාවියට යන්නට වත් මට පුළුවන්කමක් නැත. එතුමාණෝ මා වැනි මිනිසෙක් නොවන සේක.</verse>
				<verse number="33">අප දෙපසට මැදින් අප අතර සමගිය ඇති කිරීමට මැදහත්කරුවෙක් නැත.</verse>
				<verse number="34">ඔබේ දඬුවම මා කෙරෙන් පහකළ මැනව. ඔබේ භීතියෙන් මා ත්‍රස්ත නොකළ මැනව.</verse>
				<verse number="35">එවිට මම නොබිය ව කරුණු කියමි. එසේ නම්, බියට හේතුවක් මට නැත.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">“මට ජීවිතය තිත්ත වී ඇත; මාගේ දුක් ගැනවිලි නොවළහා කියා පාමින් සොවින් පිරුණු හදවතකින් මම කතා කරමි.</verse>
				<verse number="2">මම දෙවිඳුන්ට මෙසේ කියමි: ‘මා වරදට පත් නොකළ මැනව; මට විරුද්ධ ව ඔබ කරන පැමිණිල්ලට හේතුව පැවසුව මැනව.</verse>
				<verse number="3">මෙසේ මා පෙළීමත්, ඔබේ ම මැවිල්ල වන මා හෙළා දැකීමත්, දුදනන්ගේ ක්‍රියා කලාපය ගැන සතුට පහළ කිරීමත් ඔබට සුදුසු යැයි වැටහේ ද?</verse>
				<verse number="4">ඔබට ඇත්තේ මිනිස් දෙනෙතක් නොවේ. ඔබ අප වාගේ මිනිස් ඇසින් බලන්නේ නැත.</verse>
				<verse number="5">ඔබේ දවස් මිනිසාගේ දවස් මෙන් නොවේ. ඔබේ අවුරුදු මිනිසාගේ අවුරුදුවලට සමාන නැත.</verse>
				<verse number="6">ඔබ මා දුදනෙකු නොවන බව දැන දැනත්, ඔබ අතින් මා මුදාගැනීමට අන් කිසිවකු නැති බව ඔබට පෙනි පෙනිත්, මාගේ අපරාධ ගැන සොයා බලන්නේ මන් ද? මාගේ පව් විමසන්නේ මන් ද?</verse>
				<verse number="7">***</verse>
				<verse number="8">ඔබේ දෑතින් මට රූපය දී ඔබ මා මැවූ සේක. ඒ දෑතින් ම දැන් ඔබ මා නසන සේක් ද?</verse>
				<verse number="9">ඔබ මා මැටි අඹන ලෙස සෑදූ බව සිහි කරන්න. දැන් ඔබ මා යළි දූවිල්ලට හරවන සේක් ද?</verse>
				<verse number="10">කිරි බිඳක් කැටි වන ලෙස ඔබ මාගේ කළල රූපය මවු කුසෙහි සවි වන්නට සැලැසූ සේක;</verse>
				<verse number="11">ඇට හා නහර මට දී හම හා මස්වලින් ඔබ මා පැළඳවූ සේක.</verse>
				<verse number="12">ඔබ මට ජීවිතයත්, ප්‍රේමයත් දානය කළ සේක. දයාන්විත බැල්මෙන් මාගේ පණ නළ රැක දුන් සේක.</verse>
				<verse number="13">එහෙත්, ඔබ හදවතෙහි මේ සියලු දේ සඟවා ගත් සේක. ඔබේ අරමුණ කුමක් දැ යි මම දනිමි.</verse>
				<verse number="14">මා පව් කරන විට ඔබ සටහන් කර ගන්න සේක; මාගේ අපරාධයෙන් නිදොස් වීමට ඔබ මට ඉඩ නොදෙන සේක.</verse>
				<verse number="15">මම දුෂ්ටයෙක් වීම් නම්, මට වන විපතක මහත! මම දැහැමි කෙනෙක් වීම් නම්, ලජ්ජාවෙන් මිරිකී කාලකණ්ණි ව සිටිනු මිස හිස එසවීමක් මට නැත.</verse>
				<verse number="16">මා හිස එසෙව්වත්, සිංහයෙකු මෙන් ඔබ මා ලුහුබැඳ අරුමපුදුම ලෙස ඔබ තවත් ජයග්‍රහණයක් ලබන සේක.</verse>
				<verse number="17">මට විරුද්ධ ව අලුත් සාක්ෂි ඔබ ඉදිරිපත් කරන සේක. මා කෙරේ ඔබේ උදහස තව තවත් වැඩි කරන සේක. පහර පිට පහර මට එල්ල කරන සේක.</verse>
				<verse number="18">‘ඉතින් ඔබ මවු කුසින් මා ගෙනායේ කුමට ද? කවුරුත් නොදැක මා එහි ම මළා නම් හොඳ ය.</verse>
				<verse number="19">උපත වෙනුවට මවු ගැබෙන් කෙළින් ම සොහොන් ගැබට ගියා නම්, එය මට යෙහෙකැ’යි සිතමි.</verse>
				<verse number="20">මාගේ ජීවිතය ලුහුඬු ය, මා සිතූ හැටියට නිදහසේ සිටින්නට මට ඉඩ දී අල්ප මාත්‍ර ප්‍රීතියක් මට දුන මැනව.</verse>
				<verse number="21">මම විගසින් තුරන් වී යමි; ගොස් කිසි දා ආපසු නොඑමි. අඳුරු, කළුවර දේශයට යමි.</verse>
				<verse number="22">ඒ දේශය වියවුලින් පිරී ඇත; දැඩි අන්ධකාරයෙන් ද කළු සෙවණැල්ලෙන් ද වියවුලෙන් ද පිරී ඇත. එහි ආලෝකය පවා අන්ධකාරයකි.”</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">එවිට නයමාතීය ශෝපර් පිළිතුරු දෙමින් මෙසේ කී ය:</verse>
				<verse number="2">“මේ වාග් ප්‍රවාහයට පිළිතුරක් දිය යුතු නොවේ ද? කෙනෙකු බොහෝ කතා කරන පළියට ඔහු වරදින් නිදහස් ද?</verse>
				<verse number="3">සීමාවක් නැති ඔබේ ප්‍රලාපවලින් අප නිහඬ කිරීමට ඔබ සිතන්නෙහි ද? ඔබ අනන්මනන් දොඩන විට යමෙකු ඔබට දොස් නොනඟා සිටිනු ඇද් ද?</verse>
				<verse number="4">ඔබ පවසන දෙය ඇත්ත යයි ඔබ සිතන්නෙහි ය. ‘දෙවිඳුනි, ඔබ අබිමුව මම නිදොස් යැ’යි ඔබ කියන්නෙහි ය.</verse>
				<verse number="5">දෙවියන් වහන්සේ සිය මුව විදහා ඔබට කතා කරන සේක් නම්, මම කොතරම් කැමැති ද?</verse>
				<verse number="6">එවිට එතුමාණන් තමන් ප්‍රඥාව නන් වැදෑරුම් බවත්, මිනිස් මනසින් දත නොහැකි ගැඹුරු දේ තිබෙන බවත් ඔබට පෙන්වනු ඇත. දෙවියන් වහන්සේ ඔබට දී ඇත්තේ දිය යුතු දඬුවමට අඩුවෙන් බව දැනගන්න.</verse>
				<verse number="7">ඔබට දෙවිඳුන්ගේ අබිරහසේ ගැඹුර දැකිය හැකි ද? සව් බලැති එතුමන්ගේ සම්පූර්ණත්වය දැක ගත හැකි ද?</verse>
				<verse number="8">එය අහසටත් වඩා උස ය; ඔබට කළ හැකි කිසිවක් ඇද් ද? එය පාතාල ලෝකයට වඩා ගැඹුරු ය; ඔබට දැනගත හැකි කිසිවක් ඇද් ද?</verse>
				<verse number="9">එය මහ පොළොවට වඩා විශාල ය. මුහුදට වඩා පළල ය.</verse>
				<verse number="10">එතුමාණන් අවුත් ඔබ හිරබාරයට ගෙන නඩු ආසනය වෙත ගෙන ගියොත්, එය වැළැක්විය හැකි කාට ද?</verse>
				<verse number="11">එතුමාණෝ හොර බොරු කරන අය මැනවින් දන්න සේක. ඔවුන්ගේ නපුරු ක්‍රියා දුටු විට එතුමන්ට නොසලකා සිටිය හැකි ද?</verse>
				<verse number="12">මොළේ නැති කෙනෙකුට නැණවත් විය හැකි ද? වල් බූරු පැටියෙකු හීලෑ කළ හැකි ද?</verse>
				<verse number="13">ඔබේ සිත හරි මඟ යවන්න; දොහොත් මුදුන් දී දෙවිඳුන් වෙත හැරෙන්න.</verse>
				<verse number="14">ඔබ අත වරද තිබේ නම්, එය ඉවත ලන්න; ඔබේ නිවෙසෙහි අයුක්තියට ඉඩ නොදෙන්න.</verse>
				<verse number="15">එවිට ඔබට නිදොස් ව, හිස ඔසවා සිටිය හැකි ය. බිය සැක නැති ව සුරක්ෂිත ව විසිය හැකි ය.</verse>
				<verse number="16">ඔබේ දුක් ගැනවිලි, බැස ගිය ගංවතුරක් මෙන් ඔබට අමතක වනු ඇත.</verse>
				<verse number="17">ඔබේ ජීවිතය මද්දහනේ හිරුට වඩා දීප්තිමත් වනු ඇත. ඔබේ ගන’ඳුර හිරු උදාවට හැරෙනු ඇත.</verse>
				<verse number="18">බලාපොරොත්තු ඇති බැවින් ඔබට ආත්ම විශ්වාසය ඇත; ඔබ සිත් සතොසින් සුරක්ෂිත ව සැතපෙනු ඇත.</verse>
				<verse number="19">ඔබ කිසිවෙකුගෙන් බියක් නැති ව සුව සේ නිදනු ඇත. බොහෝ දෙනෙකු ඔබෙන් කරුණාව සොයා එනු ඇත.</verse>
				<verse number="20">එහෙත්, දුදනන්ගේ ඇස් නොපෙනී යයි; ගැළවීමේ මඟක් ඔවුන්ට නැත. ඔවුන්ට ඇති එක ම පැතුම මරණය වේ.”</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">ඊට පිළිතුරු වශයෙන් ජෝබ් මෙසේ කී ය:</verse>
				<verse number="2">“ඔබයි, පණ්ඩිතවරු! ඔබ මියයන දා ප්‍රඥාවත් මිය යනු ඇත!</verse>
				<verse number="3">මටත් ඔබට මෙන් ම මොළේ නැද් ද? මම ඔබට දෙ වැනි නොවෙමි. ඔය කී දේවල් නොදන්නෝ කවුරු ද?</verse>
				<verse number="4">මම දෙවිඳුන් අයැද උත්තර ලත් මිනිසෙක්මි; එහෙත්, මාගේ මිතුරන් හට දැන් මම විහිළුවක් වී සිටිමි. අනේ! දැහැමි, අවංක මිනිසා විහිළුවක් වන හැටි!</verse>
				<verse number="5">සැප ඇති අය අසරණයන් සුළු කර සිතති; වැටෙන්න යන අයට පහර දී බිම හෙළති.</verse>
				<verse number="6">කොල්ලකාරයන්ගේ නිවෙසට සාමය උදා වෙයි; දෙවිඳුන් කෝප කරන අය යහතින් වසති. ඔවුන්ගේ ම ශක්තිය ඔවුන්ගේ දෙවියන් වී ඇත.</verse>
				<verse number="7">එහෙත්, පොළොවේ සතුන්ගෙන් අසන්න; උන් ඔබට උගන්වනු ඇත. අහසේ සියොතුන්ගෙන් අසන්න; උන් ඔබට දන්වනු ඇත.</verse>
				<verse number="8">පොළොවේ බඩ ගා යන සතුන් ඔබට කරුණු පහදා දෙනු ඇත. මුහුදේ මසුන් ඔබට තේරුම් කර දෙනු ඇත.</verse>
				<verse number="9">සමිඳුන්ගේ හස්තය මේ සියල්ල කළ බව තේරුම්ගන්නෝ ඔවුන්ගෙන් කවුරු ද?</verse>
				<verse number="10">දිවි ඇති සියලු සතුන්ගේ පණ නළ ද මුළු මිනිස් සංහතියේ ජීවිතය ද එතුමන් අතෙහි ඇත.</verse>
				<verse number="11">දිවෙන් කෑම රස බලන්නාක් මෙන් කනින් අසන වචන මනස විමසනවා නොවේ ද?</verse>
				<verse number="12">වයස්ගත අය හට ප්‍රඥාව ඇත. වයස්ගත වීම සමඟ නැණ නුවණ උදා වේ.</verse>
				<verse number="13">දෙවිඳුන් වෙත ප්‍රඥාව හා බලය යන දෙක ම ඇත. විනිශ්චය හා නුවණ එතුමන් අතෙහි ය.</verse>
				<verse number="14">එතුමාණන් කඩාදමන තැන පුනරුත්ථානයක් නැත. එතුමාණන් සිරගත කරන මිනිසාට විමුක්තියක් නැත.</verse>
				<verse number="15">එතුමාණන් වැස්ස දුන් විට එය නැවතුවහොත් ඉඩෝරය පැමිණේ. යළි වැස්ස දුන් විට රට යට කරන මහ ගංවතුරු ගලයි.</verse>
				<verse number="16">බලය හා දක්ෂකම එතුමන් වෙත ඇත. රැවටෙන්නාත්, රවටන්නාත් දෙදෙනා ම එතුමන්ගේ බලය යටතේ ය.</verse>
				<verse number="17">එතුමාණෝ අනුශාසකයන් මන්ද බුද්ධිකයන් කරන සේක; විනිශ්චයකාරයන් මෝඩයන් කරන සේක.</verse>
				<verse number="18">එතුමාණෝ රාජ බලය බිඳදමා, රජවරුන් දාසයන් කරන සේක;</verse>
				<verse number="19">එතුමාණෝ පූජකවරුන් බලයෙන් ඉවත් කරන සේක. බලවතුන් පහළට හෙළ‍න සේක;</verse>
				<verse number="20">එතුමාණෝ චතුර කථිකයන් නිහඬ කරන සේක; මහලු අයගේ තැන්පත් බුද්ධිය ඉවත් කරවන සේක.</verse>
				<verse number="21">එතුමාණෝ රජ කුමරුන් අවමානයට ලක් කරන සේක; වංශාධිපතීන්ගේ අභිමානය බිඳ හෙළ‍න සේක.</verse>
				<verse number="22">කළුවර තැන්වලට ආලෝකය එවන සේක; තිත්ත කළුවර ආලෝක කරන සේක,</verse>
				<verse number="23">එතුමාණෝ ජාතියක් උසස් කොට එය විනාශ කරන සේක; ජනතාවක් වර්ධනය කොට ඔවුන් නසා ලන සේක.</verse>
				<verse number="24">එතුමාණෝ ලොවේ ජන නායකයන්ගේ නුවණ පහකරන සේක; හසරක් නැති වැලි කතරෙහි ඔවුන් මුළා කරන සේක;</verse>
				<verse number="25">ඔව්හු එළියක් නැති දැඩි අඳුරෙහි අතපතගාමින් ඇවිදිති; වෙරි මතින් වැනි වැනි ගමන් කරන බේබද්දන් මෙන් යති.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">“බලන්න, ඔබ කී සියල්ල මාගේ ඇසින් දැක, කනින් අසා තේරුම් ගතිමි.</verse>
				<verse number="2">ඔබ දන්න දේ මමත් දනිමි. මාගේ දැනුම ඔබේ දැනුමට දෙ වැනි නොවේ.</verse>
				<verse number="3">එහෙත්, මාගේ කතාව සව් බලැති දෙවිඳුන් සමඟ ය. එතුමන් සමඟ තර්ක කරන්නට සැරසී සිටිමි.</verse>
				<verse number="4">ඔබ වනාහි ඇත්ත සඟවා නැත්ත කියන අය වන්නහු ය. ඔබ කවුරුත් කූට වෙද්දු ය.</verse>
				<verse number="5">ඔබ නිහඬ ව ඉන්නහු නම්, ඔබ පැණවත්හු යයි සලකනු ලබන්නහු ය.</verse>
				<verse number="6">කරුණාකර, මාගේ තර්කවලට සවන් දෙන්න. මාගේ විවාදවලට කන් දෙන්න.</verse>
				<verse number="7">ඔබ ඇත්ත සඟවන්නේ දෙවිඳුන් වෙනුවෙන් ද? ඔබ නැත්ත කියන්නේ එතුමන් උදෙසා ද?</verse>
				<verse number="8">ඔබ දෙවිඳුන්ට පක්ෂ ව වාද ඉදිරිපත් කරන්නහු ද? උසාවියෙහි එතුමන්ගේ නඩුව තර්ක කරන්නහු ද?</verse>
				<verse number="9">එතුමන් ඔබ හොඳින් විමසා බැලුවොත් යහපත් දෙයක් සම්බ වනු ඇද් ද? මිනිසුන් රවටන්නාක් මෙන් එතුමන් රවටන්නට ඔබට හැකි වේ ද?</verse>
				<verse number="10">ඔබ, නිකරුණේ මට වරද තබන්නහු නම්, එතුමන් නොවරදවා ම ඔබට දඬුවම් දෙන බව සත්තක ය.</verse>
				<verse number="11">එතුමන්ගේ ශ්‍රී මහිමය ඔබ බිය ගන්වන්නේ නැද් ද? එතුමන්ගේ භයංකරකම ඔබ යටපත් කරන්නේ නැද් ද?</verse>
				<verse number="12">ඔබේ උපදේශ පරණ හණ මිටි වැනි ය. ඔබේ තර්ක කඩා හැලෙන මැටි තාප්ප වැනි ය.</verse>
				<verse number="13">නිශ්ශබ්ද වන්න; මට කතා කරන්න ඉඩ දෙන්න: වන දෙයක් වුණා වේ.</verse>
				<verse number="14">මම බෙල්ලේ වැල දමාගන්නට කැමැත්තෙමි; දිවි නසාගන්නට පවා සූදානම් ය.</verse>
				<verse number="15">එතුමාණන් මා මැරුවත් මට කමක් නැත. මට බලාපොරොත්තුවක් නැත. එහෙත්, එතුමන් ඉදිරියෙහි මාගේ නඩුව කියා පාන්නෙමි.</verse>
				<verse number="16">මෙසේ මුහුණ පෑම ම මාගේ ගැළවීම විය හැක. මන්ද යත්, අභක්තික කිසිවෙකු එතුමාණන්ට මුහුණ නොපාන බව මම දනිමි.</verse>
				<verse number="17">මට සවන් දෙන්න; මාගේ මේ කතාව හොඳ හැටි අසන්න.</verse>
				<verse number="18">මෙන්න, මාගේ විත්තිය පිළියෙළ කොට ඇත, මා නිදොස් වන බව සිකුරු ය.</verse>
				<verse number="19">නඩුවේ දී මා සමඟ තර්ක කරන සමතෙක් ඇද් ද? එවැන්නෙක් ඇත්නම්, මම නිහඬ වී මරණයට යමි.</verse>
				<verse number="20">මේ කරුණු දෙක පමණක් ඉල්ලා සිටිමි. එවිට මම ඔබ අබිමුවින් සැඟවී නොයමි.</verse>
				<verse number="21">ඔබේ හස්තය මා කෙරෙන් ඉවතට ගත මැනව. ඔබේ භයංකරකමින් මා යටත් නොකළ මැනව.</verse>
				<verse number="22">ඉන්පසු ඔබ මට විරුද්ධ ව චෝදනා කළොත් මම උත්තර දෙමි. නැතහොත් මම සිතාසිය නිකුත් කරමි; ඔබ විත්තිය කියන්න.</verse>
				<verse number="23">අපරාධ හා පව් කීයක් ගැන මම වරදකරු වෙම් ද? මාගේ වරද හා පාපය මට දැන්නුව මැනව.</verse>
				<verse number="24">ඔබ මාගෙන් මුහුණ සඟවාගෙන මා ඔබේ සතුරෙකු කොට ගණන් ගන්නේ මන් ද?</verse>
				<verse number="25">සුළඟේ ගසාගෙන යන පරඬලාපතකට ඔබ හිරිහැර කරන සේක් ද? වියළි පිදුරු ගසක් පසුපස එළවාගෙන යන සේක් ද?</verse>
				<verse number="26">ඔබ මට විරුද්ධ ව දරුණු චෝදනා ගෙනෙන සේක: මා තරුණ වියේ දී කළ අයුතුකම් පවා ඔබ දැන් මා පිට පවරන සේක.</verse>
				<verse number="27">
					මාගේ දෙපා දඬුකඳෙහි දමන සේක.
					ඔබ මා යන යන තැන විමසන සේක. මාගේ ගමනට සීමා තබන සේක.
				</verse>
				<verse number="28">ඒ නිසා මාගේ දිවිය දිරා ගිය ලීයක් මෙන් ද කාවුන් කෑ කබායක් මෙන් ද දුබල වී ඇත.</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">“මවු කුසින් උපන් හැම කෙනෙකුගේ ම ජීවිත කෙටි ය, දුකින් පිරී ඇත.</verse>
				<verse number="2">ඔහු මලක් මෙන් පිපී, පර වී යන්නේ ය. නොපවතින සෙවණැල්ලක් මෙන් පහ ව යන්නේ ය.</verse>
				<verse number="3">එවැන්නෙකු දෙස ඔබ නෙත් යොමා බලන සේක් ද? උසාවියෙහි ඔබ වෙත ඔහු කැඳවන සේක් ද?</verse>
				<verse number="4">අපවිත්‍ර දෙයකින් පවිත්‍ර දෙයක් උපදවන්න කාට හැකි ද? කිසිවෙකුට බැරි ය!</verse>
				<verse number="5">මිනිසාගේ ආයු මිම්මක් ඇත. ඔහුගේ අවුරුදු ඔබ අතේ ය. ඔහුගේ කාල සීමා ඉක්මවා නොයන පරිදි ඒවා පිහිටුවා ඇත.</verse>
				<verse number="6">පැයවල් ගණන් බලමින් කුලීකරුවෙකු මෙන් සිටින ඔහුගෙන් ඔබේ ඇස් ඉවතට ගෙන ඔහුට විවේකය දුන මැනව.</verse>
				<verse number="7">ගසක් කපා දැමුවොත්, එය යළිත් ලියලා එහි රිකිලි හටගනු ඇතැ යි බලාපොරොත්තුවක් ඇත.</verse>
				<verse number="8">ඒ ගසේ මුල් බොහෝ කල් පොළොවේ දිරා ගියත් එහි කඳ බිම වියළී ගියත්,</verse>
				<verse number="9">වතුර උරා ගත්තොත් දලු ලා පැළෑටියක් මෙන් යළිත් අතු ලියලනු ඇත.</verse>
				<verse number="10">එහෙත්, මනුෂ්‍යයා මැරුණොත් මැරුණා ම යි. ඔහු මියගිය විට යන්නේ කොතැනට ද?</verse>
				<verse number="11">වැවේ වතුර සිඳී යන්නේ ය; ගඟ හිඳී වියළී යන්නේ ය;</verse>
				<verse number="12">එසේ ම, මිනිසා මියගිය කල යළි නොනැඟිටියි; ඉර හඳ පහවන තුරු ඔහු නොපිබිදෙයි. සිය නින්දෙන් නැඟිට නොඑයි.</verse>
				<verse number="13">අනේ! ඔබ මා පාතාල ලෝකයේ වසා දමා ඔබේ උදහස පහවන තුරු මට රැකවරණය දී, මට කාලාන්තරයක් නියම කොට මා සිහි කරන සේක් නම්, මම කැමැත්තෙමි.</verse>
				<verse number="14">මියගිය පසු, මිනිසෙක් යළිත් ජීවත් වෙයි ද? මම නම්, මාගේ නිදහස පැමිණෙන තෙක් ජීවිත සටනේ සියලු දවස්වල බලාපොරොත්තුවෙන් පසු වෙමි.</verse>
				<verse number="15">ඔබ හඬගසන සේක: මම උත්තර දෙන්නෙමි; ඔබ මැවූ මැවිල්ල ගැන ඔබ සතුටු වන සේක.</verse>
				<verse number="16">එහෙත් දැන් ඔබ මාගේ පියවර ගණන් කරන සේක; මාගේ පව් ගණන් කර බලන සේක.</verse>
				<verse number="17">ඔබ මාගේ පව් මල්ලක දමා මුද්‍රා තබා ඇත. මාගේ අපරාධ වසා සඟවා ඇත.</verse>
				<verse number="18">“කන්දක් ගරා වැටී සුණු විසුණු වන්නාක් මෙන්, පර්වතයක් එය පිහිටි තැනින් පහ ව යන්නාක් මෙන්,</verse>
				<verse number="19">වතුරෙන් ගල් ගෙවී යන්නාක් මෙන්, ජලප්‍රවාහයෙන් පොළොව සේදී යන්නාක් මෙන් ඔබ මිනිසාගේ පැතුම් සුන් කරන සේක.</verse>
				<verse number="20">ඔබ අවසානය දක්වා ඔහු පරාජය කරන සේක. ඔහු අතුරුදහන් වී යයි; ඔහුගේ මුහුණේ රූප විලාශය වෙනස් කොට ඔබ ඔහු පහකරන සේක.</verse>
				<verse number="21">ඔහුගේ පුත්‍රයන් ගෞරවයට පැමිණෙන විට, එපවත් ඔහු නොදනියි. ඔවුන් අවමානයට පැමිණෙන විට ද ඔහුට දැනුමක් නැත.</verse>
				<verse number="22">එහෙත්, ඔහුට දැනෙන්නේ ඔහුගේ සිරුරේ වේදනාව පමණකි. ඔහු වැලපෙන්නේ තමා ගැන පමණකි.”</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">ඊට පිළිතුරු වශයෙන් තේමානීය එලිපස් මෙසේ කී ය:</verse>
				<verse number="2">“සිහි නුවණ ඇති කිසිවෙක් සුළඟක් වැනි පුහු ප්‍රලාප දොඩයි ද? වැදගැම්මකට නැති වචනවලින් සිය සිත් පුරවා ගනු ඇද් ද?</verse>
				<verse number="3">ඔහු නිෂ්ඵල වචන හා වැඩක් නැති කතාවලින් තර්ක කරනු ඇද් ද?</verse>
				<verse number="4">ඔබ දේව භක්තිය ඉවත ලා දෙවිඳුන් ඉදිරියෙහි භාවනා නවත්වා ඇත.</verse>
				<verse number="5">ඔබේ ම වචනවලින් ඔබ වරදකරු බව පෙනෙයි. චාටු කතාවලින් ඔබ නිවැරැදි වන්න සොයයි.</verse>
				<verse number="6">ඔබ වරදට පත් කරන්නේ ඔබේ ම වචනය වේ; මම නොවෙමි. ඔබේ ම මුඛය ඔබට විරුද්ධ ව සාක්ෂි දරයි.</verse>
				<verse number="7">“මෙලොව උපන් පළමු වන මිනිසා ඔබ යයි ඔබ සිතන්නෙහි ද? ඔබ කඳු හෙල්වලට පෙර බිහි වුණෙහි ද?</verse>
				<verse number="8">දෙවිඳුන්ගේ රහස් මන්ත්‍රණවලට ඔබ සවන් දී ඇද් ද? මිනිස් ප්‍රඥාව ඇත්තේ ඔබට පමණකැ යි සිතන්නෙහි ද?</verse>
				<verse number="9">අපට නොමැති දැනුමක් ඔබට ඇත්තේ ද? අපට නැති තීක්ෂණ බුද්ධියක් ඔබ සතු ව ඇත්තේ ද?</verse>
				<verse number="10">ඔබේ පියාට වඩා වයෝවෘද්ධ, කෙස් පැසුණු පැරැන්නෝ අප අතර සිටිත්.</verse>
				<verse number="11">දෙවිඳාණන් ඔබ සවනතට මෘදු ලෙස කොඳුරා කියන අස්වැසිලි වදන් ඔබ අගේ නොකරන්නෙහි ද?</verse>
				<verse number="12">ඔබේ සිත දමනය කිරීමට ඔබ අසමත් ද? ඔබේ දෙනෙත ගිනි පුපුරු මෙන් දිළිසෙන්නේ මන් ද?</verse>
				<verse number="13">දෙවිඳුන්ට විරුද්ධ ව නැඟී සිට මෙවැනි වචන ඔබ දොඩන්නේ මන් ද?</verse>
				<verse number="14">
					පවට නැමුණු මිනිසාට සුපිරිසිදු කෙනෙකු විය හැකි ද?
					මව් කුසින් උපන් කවරෙකු කොතෙක් දැහැමි වනු ඇද් ද?
				</verse>
				<verse number="15">දෙවිඳාණෝ සැදැහැවතුන් වුව ද විශ්වාස නොකරන සේක; සගලොව වුව ද එතුමන් ඉදිරියෙහි පිරිසිදු නැත.</verse>
				<verse number="16">එසේ නම්, දිය මෙන් අපරාධ බොන, පිළිකුල්, පවිටු මිනිසා ගැන කියනුම කවරේ ද?</verse>
				<verse number="17">“මට සවන් දෙන්න. මම කරුණු පහදා දෙමි. අත්දැකීමෙන් ලත් මාගේ දැනුම විස්තර කරමි.</verse>
				<verse number="18">ප්‍රාඥයෝ සිය මුතුන්මිත්තන්ගෙන් අසා දැනගත් දෙය නොවළහා පවසති.</verse>
				<verse number="19">දේශය ඔවුන්ට ම හිමි ව තිබිණි; පිටරැටියෝ ඔවුන් අතර නොවූ හ.</verse>
				<verse number="20">දුෂ්ටයා ජීවිතයේ සියලු දවස්වල ද සාහසිකයා දිවි ඇති තාක් ද දුක් වේදනාවෙන් පෙළෙනු ඇත.</verse>
				<verse number="21">බියකරු හඬ ඔහුගේ සවනත රැව් දෙයි. සුව සේ සිටින විට පවා සොර සතුරෝ ඔහුට පහර දෙති.</verse>
				<verse number="22">අඳුරු මරු මුවින් මිදීමේ බලාපොරොත්තුවක් ඔහුට නැත. කඩු පහර තමාගේ ඉරණම බව ඔහුට සහතික ය.</verse>
				<verse number="23">ගිජු ලිහිණියන්ට ගොදුරු වීම ඔහුට නියම වී ඇත. තමාගේ විනාශය ළඟ බව ඔහුට සහතික ය.</verse>
				<verse number="24">අඳුරු දවස ඔහු බිය ගන්වයි. සටනට සැරසුණු බලවත් නිරිඳෙකු මෙන් විපත්තිය හා වේදනාව ඔහුට පහර දෙයි.</verse>
				<verse number="25">මන්ද, ඔහු දෙවිඳුන්ට විරුද්ධ ව අත අමෝරා ගත්තේ ය; සව් බලැති දෙවිඳුන්ට එරෙහි ව අභියෝග කෙළේ ය.</verse>
				<verse number="26">සිය දැවැන්ත පලිහ ඔසවාගෙන හිතුවක්කාරකමින් එතුමන්ට විරුද්ධ ව දිව ගියේ ය.</verse>
				<verse number="27">ඔහුට තරබාරුකමින් පිපුණ මුහුණක් ද තරකමින් නෙරා ගිය තුනටියක් ද ඇත.</verse>
				<verse number="28">ඔහු නටබුන් නගර හිමි කරගත්තේ ය; ගරා වැටුණු ගෙවල වාසය කෙළේ ය; ඒවා ගල් ගොඩවල් බවට පත් වන්නේ ය.</verse>
				<verse number="29">එහෙත්, ඔහු සමෘද්ධ නොවන්නේ ය; ඔහුගේ වස්තුව නොපවතින්නේ ය, මෙලොව ඔහුට ස්ථිර ජීවිතයක් නැත.</verse>
				<verse number="30">ඔහු දුක ‘ඳුරෙන් එළියට එන්නේ නැත. ඔහු ගිනි දලුවෙන් වියළී ගිය අතු ඇති, මල් සුළඟට ගසාගෙන ගිය ගසක් මෙන් වනු ඇත.</verse>
				<verse number="31">දුෂ්ටකමෙහි විශ්වාසය තැබීමෙන් ඔහු තමා ම රවටා ගනියි. මෙසේ දුෂ්ටකම ඔහුගේ දුර්විපාකය වනු ඇත.</verse>
				<verse number="32">ඔහු, අකලට වියළී යන අතු ඇති, කිසි දා අතු විහිදී නොයන තාල වර්ග ගසක් මෙන් වනු ඇත.</verse>
				<verse number="33">ඔහු, පැසෙන්නට පෙර ගෙඩි වැටී යන මිදි වැලක් ද මල් පර වී වැටෙන ඔලීව ගසක් ද වැනි ය.</verse>
				<verse number="34">මන්ද, අභක්තිකයන්ට දරු පරපුරක් නොලැබෙනු ඇත. අල්ලෙසන් පොහොසත් වූ ඔවුන්ගේ ගේදොර ගින්නෙන් දැවී යනු ඇත.</verse>
				<verse number="35">අයුක්තිය පිළිසිඳගෙන අපරාධය බිහි කරන අය මොවුහු ය. මොවුන්ගේ සිත් වංචාවෙන් පිරී ඇත.”</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:</verse>
				<verse number="2">“මීට පෙරත් මෙවැනි බොහෝ දේ මා අසා ඇත; ඔබ දෙන සහනය මට අසහනයක් පමණි.</verse>
				<verse number="3">සුළං හමන්නාක් මෙන් වදින මේ වචන රැල්ලෙහි කෙළවරක් නැද් ද? මෙබඳු පිළිතුරු දීමට කුමක් ඔබ පොළඹවන්නේ ද?</verse>
				<verse number="4">මා සිටින තැන ඔබ සිටියොත්, මටත් ඔබ වාගේ ම ව්‍යක්ත ලෙස කතා කළ හැකි ය; ඔබට විරුද්ධ ව වචන ගොඩක් නඟා ඔබ දෙසට මාගේ හිස වනමින් සරදම් කිරීමට මටත් පුළුවන.</verse>
				<verse number="5">එහෙත්, මම එසේ නොකරමි; මම දිරිය වඩන වචන ම කියමි; එවිට මාගේ අස්වැසිල්ල දිය පාරක් මෙන් ගලා යනු ඇත.</verse>
				<verse number="6">මා කතා කළත් මාගේ දුක තුනී වන්නේ නැත. මා නිහඬ ව සිටියත් මට ඇති සහනය කුමක් ද?</verse>
				<verse number="7">සැබැවින් ම දෙවිඳුනි, ඔබ මා දුබල කොට ඇත; ඔබ මාගේ දූ පුතුන් මැරෙන්නට සලස්වා ඇත;</verse>
				<verse number="8">ඔබ මා කය පොඩි කර ඇත; මම ඇටකටු ගොඩක් පමණි. එය මා වැරදිකරු බවට සාක්ෂි දෙයි.</verse>
				<verse number="9">එතුමාණන් කෝපයෙන් මා කැබලි කොට, ඉරා දමනු ඇත. එතුමාණන් දත්මිටි කා, තියුණු ලෙස මා දෙස රවා බලනු ඇත.</verse>
				<verse number="10">මාගේ සතුරෝ මට විරුද්ධ ව නින්දා කොට මට කම්මුල් පහර දුන්හ. ඔව්හු මට එරෙහි ව රැස් වී සිටියහ.</verse>
				<verse number="11">දෙවිඳුන් මා අභක්තිකයන් අතට පාවා දී ඇත; දුදනන් වෙත මා පලවා හැර ඇත.</verse>
				<verse number="12">එතුමාණන් මා මැඩ ලන තුරු මම යෙහෙන් කල් යැවීමි. එතුමාණෝ මාගේ ගෙල අල්ලා, මා බිම ගසා සුණු විසුණු කළ සේක. එතුමාණන්ගේ දුනුවායෝ මා වට කරගත්හ. එතුමාණෝ මා ඉලක්කයක් කරගත්හ.</verse>
				<verse number="13">එතුමාණන්ගේ ඊතල හැම දෙසින් ම පිට පතිත වේ; එතුමාණෝ කරුණා විරහිත ව මාගේ වකුගඩු පළාදමන සේක; පිත බිම වගුරුවන සේක;</verse>
				<verse number="14">පහර පිට පහර දී මාගේ ආරක්ෂා පවුර බිඳ දමන සේක. නිර්භීත සෙබළෙකු මෙන් එතුමාණෝ මට විරුද්ධ ව දුව එන සේක.</verse>
				<verse number="15">මම ගෝණි රෙදි මසා, මාගේ හම වසාගෙන, දුකින් දුබල ව දූවිල්ලෙහි හිඳගතිමි.</verse>
				<verse number="16">හැඬීමෙන් මාගේ මුහුණ රතු වී ඇත; මාගේ ඇස් වටා කළු වී ඇත.</verse>
				<verse number="17">මා සැහැසිකමින් තොර ව සිටියදීත් මාගේ යාච්ඤා අවංක ව තිබියදීත් මේ දේ මට සිදු වී ඇත.</verse>
				<verse number="18">එම්බා මිහිකත! මට කර ඇති අපරාධ පස් යට නොසඟවන්න. මාගේ අඳෝනාව අවසන් නො වේ වා!</verse>
				<verse number="19">
					මා වෙනුවෙන් සාක්ෂිකරුවෙක් සගලොව ඇත.
					මට පක්ෂ ව කතා කරන කෙනෙක් උසස් ස්ථානයෙහි වසයි.
				</verse>
				<verse number="20">මාගේ ආයාචනය දෙවිඳුන් වෙත නඟියි. මාගේ දෙනෙතෙහි කඳුළු එතුමන් දෙස ගලා යයි.</verse>
				<verse number="21">මිනිසා දෙවිඳුන් සමඟ ද මිනිසා මිනිසා සමඟ ද ඉටු කළ යුතු යුක්තිය එතුමාණෝ ආරක්ෂා කරන සේක් වා!</verse>
				<verse number="22">ආපසු ඊමක් නැති අවසන් ගමනෙහි මම යමි. මට ඉතිරි ව ඇත්තේ තව අවුරුදු ස්වල්පයකි.</verse>
			</chapter>
			<chapter number="17">
				<verse number="1">“මට හුස්ම ගන්න පවා බැරි ය; මාගේ අවසානය හොඳට ම ළඟ ය. දැන් මට ඉතිරි ව ඇත්තේ සොහොන පමණ ය.</verse>
				<verse number="2">කොයි අතට හැරුණත්, මිනිස්සු මට සරදම් කරති. ඔවුන්ගේ ඇණුම්බැණුම්වලට මට මූණ පාන්නට වී ඇත.</verse>
				<verse number="3">“ඔබ ඉදිරියෙහි ඔබ ම මාගේ ඇපකරු වුව මැනව. මා වෙනුවට ඇප දීමට වෙන කිසිවෙක් ඇද් ද?</verse>
				<verse number="4">තේරුම් නොගන්න පිණිස චින්තන බුද්ධිය ඔබ අඳුරු කර ඇත. මා පරදා ජය ගැන්මට ඔබ ඔවුන්ට ඉඩ නුදුන මැනව.</verse>
				<verse number="5">සිය වාසිය පිණිස මිතුරන් පාවා දෙන මිනිසාගේ දරුවන් දුක් විඳිනු ඇත.</verse>
				<verse number="6">සමිඳුන් මිනිසුන් අතර මා නින්දා පාඨයක් කර ඇත. ඔව්හු මාගේ මුහුණට කෙළ ගසති.</verse>
				<verse number="7">මාගේ ඇස් සෝදුකින් අඳුරු වී ඇත. මාගේ අවයව සියල්ල සෙවණැල්ලක් වැනි ය.</verse>
				<verse number="8">දැහැමි අය මා දැක මවිත වෙති. සුදනෝ මාගේ විපත දැක කෝප වෙති.</verse>
				<verse number="9">දැහැමියා සිය දිවි මඟෙහි ස්ථිර ව වෙසෙයි; සුපිරිසිදු අත් ඇති තැනැත්තේ වඩ වඩා ශක්තිමත් වෙයි.</verse>
				<verse number="10">එහෙත්, ඔබ සියලු දෙන ම මා වෙත යළි පැමිණියත්, ඔබ අතර පැණවතෙක් මට හමු වනු ඇද් ද?</verse>
				<verse number="11">මාගේ දවස් ගෙවී ගොස් ඇත; මාගේ පැතුම් බිඳී ගොස් ඇත; මාගේ අරමුණු ව්‍යර්ථ වී ඇත.</verse>
				<verse number="12">එහෙත්, මාගේ මිතුරෝ මාගේ රැය දවාලට හරවති; ආලෝකය ළඟ යයි කියති; එහෙත්, මා අවට තවමත් අඳුර ය.</verse>
				<verse number="13">මාගේ බලාපොරොත්තුව මළවුන්ගේ ලොව ගැන පමණ ය. අන්ධකාරයෙහි මම සැතපෙන්නෙමි.</verse>
				<verse number="14">මිනීවළට මම, ‘පියා ය’යි කියමි; පණුවන්ට මම, ‘මව හා සොහොයුරිය ය’යි කියමි.</verse>
				<verse number="15">එසේ නම්, මාගේ පැතුම කොතැන ද? ‘ප්‍රීතියක් ඇතැ’යි කා හට වත් පෙනේ ද?</verse>
				<verse number="16">දූවිල්ලට හැරෙන විට, මළවුන්ගේ ලොවට බැස යන විට පැතුම හා ප්‍රීතිය මට ගෙන යා නොහැකි ද?”</verse>
			</chapter>
			<chapter number="18">
				<verse number="1">එවිට ෂුහිය බිල්දද් මෙසේ පිළිතුරු දුන්නේ ය:</verse>
				<verse number="2">“ඔබේ කතාවට ඉවරයක් නැද් ද? ටිකක් කල්පනා කරන්න; ඉන්පසු ව කතාවට බසිමු.</verse>
				<verse number="3">අප ගොන් රැළකැ යි ඔබ සිතන්නෙහි ද? තිරිසන් ගණයට අප දමන්නේ මන් ද?</verse>
				<verse number="4">ඔබ කෝපයෙන් ඔබ ම කැබලිවලට ඉරාගන්නේ මන් ද? ඉරාගත්තත් පොළෝ තලය පාළුකරයක් නොවනු ඇත. ගිරිකුළු නොසෙල්වෙනු ඇත.</verse>
				<verse number="5">
					එසේ ය, දුදනාගේ පහන නිවී යයි;
					ඔහුගේ පහන් දැල්ල තවත් නොබැබළෙයි.
				</verse>
				<verse number="6">ඔහුගේ කූඩාරමෙහි පහන අඳුරු වෙයි. ඔහුට ඉහළින් ඇති පහන නිවී යයි.</verse>
				<verse number="7">ස්ථිර ව තිබූ ඔහුගේ පාද දැන් වැනෙන සුලු ය. තමාගේ ම කූට උපාවලින් ඔහු වැටෙයි.</verse>
				<verse number="8">ඔහු වහා දුව ගොස් දැලකට අසු වෙයි; ඔහු මලපත් මත ඇවිදියි.</verse>
				<verse number="9">ඔහුගේ විලුඹ උගුලක අසු වෙයි. උගුල ගැස්සී ඔහු තදින් පැටලෙයි.</verse>
				<verse number="10">පොළොවෙහි ඔහුට මරුවැලක් ද ඔහු යන පාරෙහි බොරු වළක් ද ඇත.</verse>
				<verse number="11">භීතිය සැම’ තින් ඔහු බිය ගන්වයි; ඔහුගේ පාද ළඟින් ම එය ඔහු ලුහුබැඳ එයි.</verse>
				<verse number="12">සාගින්නෙන් ඔහුගේ වෙර වීරිය හීන වෙයි; වැටි වැටී යන ඔහුට විපත සමීප ව ඇත.</verse>
				<verse number="13">දරුණු රෝගයක් ඔහුගේ හමට කා වැදී ඇත; ඒ මාරක රෝගය ඔහුගේ අවයව කාදමයි.</verse>
				<verse number="14">ඔහුගේ නිවාසයේ සුරැකුම් බවින් ඔහු පැහැර ගනු හැක, මරු මුවට ඔහු ඇදගෙන යනු ඇත.</verse>
				<verse number="15">ගෙන්දගම් දුම් අල්ලා පිරිසිදු කළ පසු ඔහුගේ නිවාසයේ අන් කෙනෙකු වසනු ඇත.</verse>
				<verse number="16">ඔහු වනාහි, යටින් මුල් වියළී ගිය, උඩින් අතු කපාදමනු ලැබූ ගසක් වැනි ය.</verse>
				<verse number="17">මිහි මත කිසි රටක ඔහු සිහිපත් නොවනු ඇත. සිය රටෙහි පවා ඔහුගේ නම නොකියවෙනු ඇත.</verse>
				<verse number="18">එළියෙන් අඳුරට ඔහු නෙරපාදමනු ලැබේ. ජීවතුන්ගේ ලෝකයෙන් ඔහු පලවා හරිනු ලැබේ.</verse>
				<verse number="19">ඔහුගේ සෙනඟ අතර ඔහුට දරු මුණුබුරෝ නැත; ඔහුගෙන් පැවත එන කිසිවෙක් ඔහුගේ නිවෙසෙහි ඉතිරි ව නැත.</verse>
				<verse number="20">අපරදිග දනෝ ඔහුගේ විනාශය ගැන අසා බියෙන් තිගැස්සෙති; පෙරදිග දනෝ භීතියෙන් වෙවුලති.</verse>
				<verse number="21">අදමිටු අයගේ ඉරණම එය වේ; දෙවිඳුන් නොසලකන අයගේ ඉරණම ද එය වේ.”</verse>
			</chapter>
			<chapter number="19">
				<verse number="1">ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:</verse>
				<verse number="2">“ඔබ කොපමණ කල් මා වෙහෙස කොට වාග් ප්‍රහාරයෙන් මා සුණු විසුණු කරන්නහු ද?</verse>
				<verse number="3">දිගින් දිගට ම ඔබ මට අපහාස කළහු ය; විළි බිය නැති ව මට අයුක්තිය කළහු ය.</verse>
				<verse number="4">මම ඇත්තට ම වරදක් කෙළෙම් නම්, එහි පල විපාක මට මිස ඔබට නොවේ.</verse>
				<verse number="5">එහෙත් ඔබ, මහේශාක්‍ය ගතියක් පෙන්වමින් මා වෙත එල්ල කළ නින්දාපහාස යුක්ති සහගත යයි කියන්නහු නම්,</verse>
				<verse number="6">මම එකක් කියමි: මා වරදට පත් කෙළේ, දෙවිඳුන් බවත්, දැලක් දමා මා වටකර ඇත්තේ, එතුමන් බවත් දැනගන්න.</verse>
				<verse number="7">මෙන්න, මට දෙන දැඩි පහර ගැන මා මොරගසන නමුත්, උත්තර දෙන කෙනෙක් නැත. පිහිට ඉල්ලා කෑ ගසන නමුත්, යුක්තිය ඉටු කරන කෙනෙක් නැත.</verse>
				<verse number="8">මා පිටත නොඑන ලෙස එතුමන් මා අවට වැට කොටු බැඳ, පාර අහුරා, මාගේ මාවත අඳුරු පටලයකින් වසා ඇත.</verse>
				<verse number="9">එතුමන් මාගේ යසඉසුරු පැහැරගෙන මාගේ හිසෙන් කිරුළ පහකර ඇත.</verse>
				<verse number="10">මා නැති වන ලෙස එතුමන් හතර වටින් මට පහර දී, උදුරා දමන ලද ගසක් මෙන් මාගේ බලාපොරොත්තුව බිඳ දමා ඇත.</verse>
				<verse number="11">එතුමන් සිය කෝපාග්නිය දල්වා මා සතුරෙකු ලෙස ගණන් ගනු ඇත.</verse>
				<verse number="12">මට පහර දීමට සිය යුද හමුදා එවා ඇත. ඔවුන් මාගේ කූඩාරම වටලාගෙන ඇත.</verse>
				<verse number="13">එතුමන් මාගේ සහෝදරයන් මා වෙතින් ඈත් කර ඇත. මාගේ මිතුරෝ මට අමුත්තන් වී සිටිති.</verse>
				<verse number="14">මාගේ ඥාතීහු අහක් ව ගියහ. මාගේ කලණ මිතුරෝ මා අමතක කළහ.</verse>
				<verse number="15">අමුත්තෝ හා මාගේ සේවිකාවෝ මා පිට කෙනෙකු ලෙස ගණන් ගනිති. මා ඔවුන්ට විදේශිකයෙකු වී ඇත.</verse>
				<verse number="16">සේවකයාට මා හඬගැසුවත්, ඔහු මට උත්තර නොදෙයි; ඔහුට ආයාචනා කිරීමට මට සිදු වී ඇත.</verse>
				<verse number="17">මාගේ බිරිඳට මාගේ හුස්ම පවා දරන්නට බැරි ය; එක කුසේ උපන් අයටත් මම පිළිකුලක් වී සිටිමි.</verse>
				<verse number="18">බාල දරුවෝ පවා මට උසුළු-විසුළු කරති; මා නැඟිටින්නට හදන විට පිටුපස හරවා යති.</verse>
				<verse number="19">මාගේ සියලු හිත මිතුරෝ මා තදින් පිළිකුල් කරති; මා පෙම්වත් අය මට එරෙහි ව නැඟී සිටිති.</verse>
				<verse number="20">මාගේ ඇටකටු හමට ඇලී ඇත; මම මාගේ යටි තොල විකාගෙන සිටිමි.</verse>
				<verse number="21">මාගේ මිතුරෙනි, අනේ! මට අනුකම්පා කරන්න; මට අනුකම්පා කරන්න. දෙවිඳාණෝ මට පහර දුන් සේක.</verse>
				<verse number="22">දෙවිඳුන් මෙන් ඔබත් මා ලුහුබැඳ එන්නේ මන් ද? මාගේ කයට සිදු වී ඇති විපත ගැන ඔබ සෑහීමට පත් වී නැද් ද?</verse>
				<verse number="23">“අනේ! මාගේ වචන ලියා තැබුවොත් කොපමණ හොඳ ද? ඒවා ග්‍රන්ථාරූඪ කරන්නට ඇත්නම්!</verse>
				<verse number="24">යකඩ පන්හිඳකින් ගලේ කොටා, ඊයම් යොදා, සදහට ම තබන්නට ඇත්නම්, කොපමණ හොඳ ද? මට එක දෙයක් සහතික ය:</verse>
				<verse number="25">එනම්, මාගේ මිදුම්කාරයාණන් ජීවත් ව සිටින බව ද අන්තිමේ දී, මා වෙනුවෙන් කතා කරන බව ද මම දනිමි.</verse>
				<verse number="26">කුෂ්ඨයක් මාගේ හමට කා වැදී, මාගේ මාංසය දිරා ගිය පසුත් මම මාගේ දෙනෙතින් දෙවිඳුන් දකින්නෙමි.</verse>
				<verse number="27">මම ම එතුමාණන් දකිමි; අන්‍යයෙකු නොව මම, මාගේ දෙනෙතින් ම එතුමාණන් දකිමි.</verse>
				<verse number="28">මේ ගැටළුවේ මුල මා බැවින්, අප ඔහුට පහර දෙන්නේ කෙසේ දැ යි ඔබ කියන්නහු නම්,</verse>
				<verse number="29">කඩුපතට බිය වන්න; මන්ද, කඩුපත කෝපයේ ප්‍රතිඵලයකි. එවිට විනිශ්චයයක් ඇති බව ඔබ දැනගන්නහු ය.”</verse>
			</chapter>
			<chapter number="20">
				<verse number="1">ඊට පිළිතුරු වශයෙන් නයමාතීය ශෝපර් මෙසේ කී ය:</verse>
				<verse number="2">“ඇවිස්සුණු මාගේ චිත්තය ඔබට පිළිතුරු දීමට නොඉවසිල්ලෙන් බලා සිටියි.</verse>
				<verse number="3">ඔබ ඉදිරිපත් කළ චෝදනා මට අපහාසයකි. එහෙත්, මාගේ බුද්ධිය ඉක්මවා යන ආත්මානුභාවය ඊට පිළිතුරු සපයනු ඇත.</verse>
				<verse number="4">කාලයාගේ උපත සිදු වූ දා සිට, මිනිසා මිහි පිට පහළ වූ දා පටන්,</verse>
				<verse number="5">දුෂ්ටයාගේ ජය ඝෝෂාව කෙටි කාලීන බවත්, අභක්තිකයාගේ ප්‍රීතිය එක මොහොතකට පමණක් බවත් ඔබ නොදන්නෙහි ද?</verse>
				<verse number="6">ඔහුගේ මහන්තත්ත්වය අහස දක්වා නැංගත්, ඔහුගේ හිස වලාකුළුවල ගැටෙන තරම් ඔහු උස ගියත්,</verse>
				<verse number="7">කුණු කසළ මෙන් ඔහු සදහට ම නැති වී යයි. ඔහු දැන සිටි අය, ‘දැන් ඔහු කොහේ දැ’යි ප්‍රශ්න කරති.</verse>
				<verse number="8">ඔහු සිහිනයක් මෙන් පහ ව ගොස් අතුරුදන් වෙයි; රෑ යාමේ දර්ශනයක් මෙන් පහ ව යයි.</verse>
				<verse number="9">ඔහු දැක ඇති අය තවත් ඔහු නොදකිති. ඔහුගේ ඉඩමෙහි තවත් ඔහු දක්නට නොලැබේ.</verse>
				<verse number="10">ඔහුගේ දරුවෝ දිළිඳුන්ගෙන් කරුණාව සොයන්නෝ ය. ඔහු පැහැර ගත් සම්පත් ඔහුගේ අතින් ම ආපසු දෙනු ඇත.</verse>
				<verse number="11">යොවුන් වියේ ශක්තියෙන් පිරුණු ඔහුගේ සිරුර, දැන් ඔහු සමඟ දූවිල්ලට හැරෙනු ඇත.</verse>
				<verse number="12">දුෂ්ටකම ඔහුගේ කටට මිහිරි ව දැනෙතත්, ඔහු එය සිය දිව යට සඟවාගනියි.</verse>
				<verse number="13">ඉවතට යන්න නොදී හෙමිහිට එය රස බැලුවත්, උඩුතල්ලේ තබා ගනිතත්,</verse>
				<verse number="14">පසු ව ඒ ආහාර සර්ප විෂට හැරී බඩ දැඟලීම ඇති කරයි.</verse>
				<verse number="15">තමා ගිලගත් ධන සම්පත් ඔහු වමාරන්නේ ය; දෙවිඳාණෝ ඒවා ඔහුගේ උදරයෙන් පිට කරන සේක.</verse>
				<verse number="16">ඔහු සපුන්ගේ විස උරා බොන්නේ ය; පොළඟාගේ දළයෙන් ඔහු මැරුම් කන්නේ ය.</verse>
				<verse number="17">ඔහු, ගිතෙල් ගලන ඔයවල් ද කිරි පැණි ගලා යන ගංගා ද නොදකින්නේ ය.</verse>
				<verse number="18">ඔහු වැර වීරියෙන් ලබාගත් දේ භුක්ති නොවිඳ ඒවා ආපසු දෙන්නේ ය. ඔහු තම වැඩ කටයුතුවලින් ලබා ගත් ප්‍රතිඵලවල රස නොවිඳින්නේ ය.</verse>
				<verse number="19">මන්ද, ඔහු දිළිඳුන් තළා පෙළා අත්හැරදැම්මේ ය; අනුන් තැනූ ගේදොර බලහත්කාරයෙන් ගත්තේ ය.</verse>
				<verse number="20">ඔහුගේ මසුරුකමට සීමාවක් නැති බැවින්, සිය වස්තුවෙන් සෙතක් ඔහු ලබා නොගනියි.</verse>
				<verse number="21">ඔහුගේ තණ්හාවට ගොදුරු නොවූ දෙයක් තවත් ඇද් ද? ඔහුගේ සැප සම්පත චිරස්ථායික නොවේ.</verse>
				<verse number="22">විපුල සමෘද්ධත්වයෙන් සිටියත් ඔහුට අගහිඟකම් ඇත; දුඃඛිතයන්ට පැමිණෙන හැම දුක ම ඔහු කරාත් පැමිණෙන්නේ ය.</verse>
				<verse number="23">ඔහු බඩ පුරා කෑම කෑවත්, දෙවිඳාණෝ බලවත් උදහසින් හා සිය කෝපයෙන් ඔහුට දඬුවම් දෙන සේක.</verse>
				<verse number="24">ඔහු යකඩ අවියෙන් පහර ලැබ, ගැළවෙන්නට වෑයම් කරන විට ලෝකඩ දුන්නෙන් බිම හෙළ‍නු ලබන්නේ ය.</verse>
				<verse number="25">ඊතලය ඔහුගේ සිරුර පසා කර, එහි දිළිසෙන තුඩ ඔහුගේ පිත්තාශයෙන් පිට කරන්නේ ය. භීතිය ඔහුගේ හදවත විනිවිද යයි.</verse>
				<verse number="26">ඔහු රැස් කර තිබූ සම්පත් සියල්ල නාස්ති වී යයි. මිනිසා නොදැල්වූ ගින්නක් ඔහු ද ඔහුගේ නිවෙසෙහි වසන අනික් අය ද දවාදමයි.</verse>
				<verse number="27">අහස් තලය ඔහුගේ පාප දෝස අනාවරණය කරයි; මිහි තලය ඔහු වරදට පත් කරයි.</verse>
				<verse number="28">ඔහුගේ ගෙදර ධන සම්පත් ගංවතුරේ ගසාගෙන යයි; දේව උදහසේ දවසේ දී ඒවා නැති වී යයි.</verse>
				<verse number="29">දුදනා හට දෙවිඳුන්ගේ නියමය එය වේ. එතුමාණන්ගෙන් ඔහුට නියමිත ප්‍රතිවිපාකය එය වේ.”</verse>
			</chapter>
			<chapter number="21">
				<verse number="1">එකල ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:</verse>
				<verse number="2">“මාගේ මේ කතාව සාවධාන ව අසන්න. ඔබ මට දෙන සැනසිල්ල එය වේ.</verse>
				<verse number="3">මට වචනයක් කීමට ඉඩ දෙන්න. කැමැති නම්, ඉන්පසු අපහාස කරන්න.</verse>
				<verse number="4">මාගේ පැමිණිල්ල මනුෂ්‍යයාට විරුද්ධ ව යයි ඔබ සිතන්නහු ද? මාගේ අසහනයට වෙන හේතුවක් තිබෙන්නට බැරි ද?</verse>
				<verse number="5">මට සවන් දෙන්න; එවිට ඔබ විස්මිත ව, දෑතින් කට වසාගෙන නිහඬ වනු නියත ය.</verse>
				<verse number="6">මේ ගැන මෙනෙහි කරන විට පවා මම අන්දුන්කුන්දුන් වෙමි. මාගේ ඇඟ ගැහෙන්නට පටන්ගනියි.</verse>
				<verse number="7">දුෂ්ටයන් දිගින් දිගට ජීවත් වී, දිගායු වළඳා, බලවත් වන්නේ කෙසේ ද?</verse>
				<verse number="8">ඔවුන්ට දරු මුණුබුරෝ ඇති වන්නෝ ය. ඔවුන් වැඩෙනු දකින්නට ඔව්හු ද ජීවත් වන්නෝ ය.</verse>
				<verse number="9">ඔවුන්ගේ නිවාස බියෙන් තොර ව සුරක්ෂිත ව ඇත; දෙවිඳුන්ගේ දඬුවම ඔවුන් පිට නැත.</verse>
				<verse number="10">ඔවුන්ගේ ගවයෝ නොවරදවා පැටව් ගසති; ඔවුන්ගේ එළදෙනුන්ට ගබ්සා වීමක් නැත.</verse>
				<verse number="11">ඔව්හු තමන්ගේ බාලයන් බැටළු රැළක් මෙන් පිටතට යවති. ඔවුන්ගේ දරුවෝ නටන්නෝ ය.</verse>
				<verse number="12">ඔව්හු රබාන ද වීණාව ද වයමින් ගී ගයති; නළා හඬ අසා ප්‍රීති වෙති.</verse>
				<verse number="13">ඔව්හු සැපතින් දවස් යවති; දුක් නොවිඳ, සාමදානයෙන් පාතාල ලෝකයට යති.</verse>
				<verse number="14">ඔව්හු දෙවිඳුන්ට මෙසේ කියති: ‘අප වෙතින් යනු මැනව; ඔබේ දහම් මඟ ඉගෙනීමට අපට ආශාවක් නැත.</verse>
				<verse number="15">සව් බලැති දෙවිඳුන්ට වැඳ නමස්කාර කිරීමට එතුමාණෝ කවරෙක් ද? එතුමන්ට අයැදුම් කිරීමෙන් කුමන වැඩක් සිදු වේ ද?’</verse>
				<verse number="16">ඔවුන්ගේ ම සවි ශක්තියෙන් ඔව්හු සමෘද්ධිමත් නොවන්නෝ ද? එහෙත්, එයාකාර සිතුවිල්ලක් මට පිළිගත නොහැකි ය.</verse>
				<verse number="17">කොපමණ වරක් දුදනන්ගේ පහන නිවී ගියේ ද? කොපමණ වරක් ඔවුන් පිට විපත පැමිණියේ ද? කොපමණ වරක් දෙවිඳාණෝ සිය උදහසින් ඔවුන් වෙත දුක් දොම්නස් එවූ සේක් ද?</verse>
				<verse number="18">කොපමණ වරක් සුළඟේ ගසාගෙන යන පිදුරු හා බොල් මෙන් ඔව්හු පහ ව ගියෝ ද?</verse>
				<verse number="19">‘දෙවිඳුන් ඔවුන්ගේ අපරාධ ඔවුන්ගේ දරුවන් පිට පමුණුවනු ඇතැ’යි ඔබ කියන්නහු ය. එය එසේ නොවේ; තම පව් තමන්ට ම දුක් දෙන බව ඔවුන් දැනගන්න පිණිස, එතුමාණෝ ඔවුන් පිට ම විපත් පමුණුවන සේක.</verse>
				<verse number="20">ඔවුන්ගේ විනාශය ඔව්හු ම සිය දෑසින් දකිත් වා! සව් බලැති දෙවිඳුන්ගේ උදහස ඔව්හු ම පානය කරත් වා!</verse>
				<verse number="21">ඔවුන්ගේ ආයු ගෙවී ගිය කල්හි, ඔවුන්ගේ දරු මුණුබුරන්ගේ සැපත ගැන ඔව්හු ම සලකත් ද?</verse>
				<verse number="22">සගලොව වසන අය පවා විනිශ්චය කරන දෙවිඳුන් හට උපදෙස් දීමට කවර නම් මිනිසෙකුට හැකි වේ ද?</verse>
				<verse number="23">එහෙත්, එක් අයෙක් සව් සැපතින් පිරී, සුවයෙන් යෙහෙන් ජීවත් ව සිට මිය යයි.</verse>
				<verse number="24">ඇඟ පත ආහාරයෙන් පුෂ්ටිමත් ව තිබිණි; ඇට මිදුළු තෙත් ව තිබිණි.</verse>
				<verse number="25">වෙන අයෙක් කිසිදු සැපතක් නොවිඳ, සෝදුකින් යුතු ව මිය යයි.</verse>
				<verse number="26">එහෙත්, ඒ දෙදෙනා ම එක සේ දූවිල්ලෙහි වැද හෙව සිටිති. පණුවෝ එක සේ ඔවුන් වසා ගනිති.</verse>
				<verse number="27">මට එරෙහි ව ඇති ඔබේ කල්පනා ද ඔබ ගෙනෙන යෝජනා ද මම දනිමි.</verse>
				<verse number="28">ප්‍රභූවරයාගේ මන්දිරය කොතැන්හි ද? දුෂ්ටයා විසූ නිවෙස කොහේ ද කියා ඔබ ප්‍රශ්න කරන්නහු ද?</verse>
				<verse number="29">සංචාරකයන්ගෙන් ඔබ අසා නැද් ද? ඔවුන් ගෙනෙන සාක්ෂි ඔබ පිළිගන්නේ නැද් ද?</verse>
				<verse number="30">විපත් දිනයේ දී දුදනා හැම විට ම බේරෙනු නොවේ ද? දෙවිඳුන් කෝප වන දවසේ දී දුදනා හැම විට ම ගැළවෙනු නොවේ ද?</verse>
				<verse number="31">ඔහුගේ වරද ඔහුගේ මුහුණට ම කියන කිසිවෙක් නැත. ඔහු කළ නපුරු දේ ගැන ඔහුට විපාක දෙන කිසිවෙක් නැත.</verse>
				<verse number="32">ඔහු සොහොන් බිම වෙත ගෙන ගිය විට සොහොන මුර කරනු ලැබේ.</verse>
				<verse number="33">ඔහු පෙරටුවෙන් හා පිටුපසින් ඔහුගේ අවමඟුල් පෙරහැරේ දහස් ගණන් සෙනඟ ගමන් කරති. පොළොවේ පස පවා ඔහු පිට මෘදු ලෙස වැටෙයි.</verse>
				<verse number="34">එසේ නම්, ඔබ මට දෙන සැනසිල්ලෙන් වැඩක් නැත. ඔබේ පිළිතුරුවල ඇත්තක් නැත.”</verse>
			</chapter>
			<chapter number="22">
				<verse number="1">ඉන්පසු එලිපස් මෙසේ පිළිතුරු දුන්නේ ය:</verse>
				<verse number="2">
					“මිනිසාගෙන් දෙවි තුමන් හට කුමන ප්‍රයෝජනයක් ඇද් ද?
					පැණවතෙකුගෙන් වුවත් කවර ප්‍රයෝජනයක් ඇද් ද?
				</verse>
				<verse number="3">ඔබ දැහැමි ව සිටියත්, සව් බලැති දෙවිඳුන්ට එය සතුටක් වේ ද? ඔබ නිදොස් ව හැසුරුණත් ඉන් එතුමන්ට ලාභයක් ඇද් ද?</verse>
				<verse number="4">එතුමාණන් ඔබට තරවටු කර, ඔබ විනිශ්චයට ගෙන එන්නේ ඔබේ දේව ගරුබිය නිසා නොවන්නේ ය.</verse>
				<verse number="5">එසේ වන්නේ, ඔබ ඉතා නපුරු මිනිසෙකු බැවිනි. ඔබේ දුෂ්ටකම නිම් හිම් නැති බැවිනි.</verse>
				<verse number="6">ඔබ අසාධාරණ ලෙස සොහොයුරන්ගෙන් උකස් ගත්තෙහි ය; ඇඳුම් නැති අයගෙන් රෙදිපිළි උදුරා ගත්තෙහි ය.</verse>
				<verse number="7">පිපාසයෙන් පෙළුණු අයට ඔබ වතුර දුන්නේ නැත; බඩගිනි අයට කෑම දුන්නේ නැත.</verse>
				<verse number="8">මුළු දේශය අයිති කරගන්නට නිල බලය හා සමාජ තත්ත්වය ඔබ පාවිච්චි කෙළෙහි ය.</verse>
				<verse number="9">ඔබ කණවැන්දුමියන් හිස් අතින් යන්නට හැරියෙහි ය. අනාථ දරුවන් හට කුරිරුකම් කෙළෙහි ය.</verse>
				<verse number="10">ඉතින්, ඔබ වටකර මලපත් ඇත. හදිසි භීතිය ඔබ කළඹන්නේ ය.</verse>
				<verse number="11">ඔබේ දෑස නොපෙනෙන ලෙස එළිය අඳුරට හැරෙයි. ජලධාරා ගලා විත් ඔබ වසාගන්නේ ය.</verse>
				<verse number="12">සැබැවින් ම, දෙවි තුමන් සගයේ ඉහළ ම තැන වැඩ වසන්නේ නැද් ද? බබළන තරු කොතරම් දුර දැ යි බලන්න.</verse>
				<verse number="13">එහෙත් ඔබ, මෙසේ කියන්නෙහි ය: ‘දෙවිඳාණෝ කුමක් දන්න සේක් ද? විනිශ්චයක් කිරීමට ගන’ඳුර බිඳ බලනු ඇද් ද?’</verse>
				<verse number="14">මිහිතල නිම් වළල්ල මත ඔබමොබ සැරිසරන විට, ඝන වලාකුළු නිසා එතුමාණන්ට දෑස විදහා බැලිය හැකි ද?</verse>
				<verse number="15">දුෂ්ටයන් කවර දාත් ගමන් කළ ඒ පැරණි මාවතෙහි ඇවිදින්නට ඔබත් තීරණය කරගත්තෙහි ද?</verse>
				<verse number="16">ඔවුන් නියම කාලයට කලින් ඉදිරී වැටෙනු ඇත. ඔවුන්ගේ අත්තිවාරම් ද මහ ගංවතුරකින් මෙන් ගහගෙන යනු ඇත.</verse>
				<verse number="17">එසේ වන්නේ, ‘අපට ඉන්න ඉඩ දී අහක් ව ගිය මැනව. සව් බලැති දෙවිඳුන් විසින් අපට කරනු ලැබිය හැකි කිසිවක් ඇද්දැ’යි ඔවුන් දෙවිඳුන්ට කී නිසා ය.</verse>
				<verse number="18">ඔවුන්ගේ අදහස් එතුමන්ට විරෝධී ව තිබියදීත්, ඔවුන්ගේ ගෙවල් සැප සම්පතින් සමෘද්ධ කෙළේ එතුමාණෝ ය.</verse>
				<verse number="19">දැහැමියෝ ඒ දැක සන්තෝෂ වෙති; නිදොස් අය ඔවුන්ට අපහාස කොට සරදමින් මෙසේ කියති:</verse>
				<verse number="20">‘අපට විරුද්ධ ව නැඟී ආ අය සැබැවින් ම සිඳිනු ලැබූ හ. ඔවුන්ගේ ඉතිරි වස්තුව ගින්නෙන් දැවී ගියේ ය.’</verse>
				<verse number="21">ජෝබ් තුමෙනි, එතුමාණන් සමඟ සමඟි වන්න. එයින් ඔබට ආසිරි ලැබෙනු ඇත.</verse>
				<verse number="22">එතුමාණන්ගේ මුවින් ඔවදන් ගෙන, එතුමන් වදන් ඔබේ සිතෙහි නිදන් කරගන්න.</verse>
				<verse number="23">ඔබ සව් බලැති දෙවිඳුන් වෙත බැගෑපත් ව හැරී, ඔබේ නිවෙසින් අසාධාරණකම් පහකළොත්,</verse>
				<verse number="24">ඔබේ රන් දූවිල්ල මෙන් ද ඔබේ තනි රන් දොළ පතුලේ ගල් කැට මෙන් ද සැලකුවොත්,</verse>
				<verse number="25">සව් බලැති දෙවිඳාණෝ ම ඔබට මුතු මැණික් හා රන් රිදී වන සේක.</verse>
				<verse number="26">එවිට ඔබ සව් බලැති දෙවිඳුන් කෙරෙහි ප්‍රීතිමත් ව, ඔබේ මුහුණ එතුමාණන් වෙත ඔසවනු ඇත.</verse>
				<verse number="27">ඔබ එතුමාණන්ට යැදුම් පුදන විට එතුමාණෝ සවන් දෙන සේක. ඔබ ද ඔබේ බාරහාර ඉටු කරනු ඇත.</verse>
				<verse number="28">ඔබ ගන්න තීරණය සඵල වනු ඇත. ඔබේ මාවත පිට එළිය බැබළෙනු ඇත.</verse>
				<verse number="29">එතුමාණෝ උඩඟු සිත් ඇති අය පහත හෙළ‍න සේක. යටහත් සිත් ඇති අය රැකගන්න සේක.</verse>
				<verse number="30">ඔබ නිදොස් ව සිටියොත්, ඔබේ අතින් හරි දේ කළොත්, ඔබට මිදීම ඇත.”</verse>
			</chapter>
			<chapter number="23">
				<verse number="1">එවිට ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:</verse>
				<verse number="2">“අද මාගේ විලාපය කටුක ය. දෙවිඳුන්ගෙන් මා ලත් පහර බරපතල නිසා කෙඳිරිගාමි.</verse>
				<verse number="3">අහෝ! එතුමන්ගේ නඩු ආසනය ළඟට පැමිණෙන්නත්, එතුමන් හමුවන්නත් මට පුළුවන්කමක් ඇත්නම්.</verse>
				<verse number="4">එතුමන් ඉදිරියෙහි මාගේ නඩුව පිළිවෙළින් කියා සිටිමි. කථිකයෙකු මෙන් හැම තර්කයක් ම ඉදිරිපත් කරමි.</verse>
				<verse number="5">එවිට එතුමන් පවසන දෙය තේරුම් ගෙන, මට දෙන උත්තරය දැනගන්නෙමි.</verse>
				<verse number="6">එතුමන් සිය බල මහිමය පා මා සමඟ වාද කරනු ඇද් ද? නැත. එතුමාණෝ මා කියන දෙයට සවන් දෙන සේක.</verse>
				<verse number="7">එහි දී, මා වැනි දැහැමි කෙනෙකු සමඟ වාද කළ බව එතුමන්ට පෙනෙනු ඇත. විනිසකරුවන් විසින් මම නිදහස් කරනු ලබන්නෙමි.</verse>
				<verse number="8">මම පෙරදිග බලා ගියෙමි; දෙවිඳාණෝ එහි නැත. අපරදිග බලා ගියෙමි; එතුමෝ එහිත් නැත.</verse>
				<verse number="9">මම උතුරට හැරී, මම දකුණට හැරී, එතුමන් සෙව්වෙමි. ඒ කිසි තැනක එතුමෝ දකින්නට නැත.</verse>
				<verse number="10">එහෙත්, මා ගන්න හැම පියවර ම එතුමාණෝ දන්න සේක; මා පරීක්ෂණයකට භාජන කළොත් මා තනි රත්රන් බව දැනගනු ඇත.</verse>
				<verse number="11">මට එතුමන් නියම කොට ඇති මාවතෙහි ම මම ගමන් කරමි. එතුමන්ගේ නියෝගවලින් ඉවත් ව නොයමි.</verse>
				<verse number="12">එතුමන්ගේ ආඥා මම නිරතුරු පිළිපදිමි. එතුමන්ගේ වදන් මා හද තුළ නිදන් කර ගනිමි.</verse>
				<verse number="13">එතුමාණන් යමක් තීරණය කළොත් එය වෙනස් නොවන්නේ ය; ඒවා වෙනස් කළ හැක්කේ කාට ද? එතුමාණෝ තමන් සිතූ දේ ඉටු කරන සේක.</verse>
				<verse number="14">මා පිළිබඳ සිය අදහස එතුමන් සපුරාලනු ඇත; එවැනි අදහස් එතුමන්ගේ සිතෙහි තව බොහෝ ඇත.</verse>
				<verse number="15">ඒ නිසා එතුමාණන් හමු වීමට මම බිය වෙමි. එතුමන් ගැන සිතන විට මම බිය පත් වෙමි.</verse>
				<verse number="16">සව් බලැති දෙවි තුමාණෝ මහද දුබල කළ සේක; එතුමාණෝ මාගේ සිතෙන් දිරිය පහකළ සේක.</verse>
				<verse number="17">අඳුරින් මම වට වී සිටිමි; එතුමන් නොපෙනෙන ලෙස ගන’ඳුරින් මාගේ මුහුණ ආවරණය වී තිබේ.</verse>
			</chapter>
			<chapter number="24">
				<verse number="1">“සව් බලැති දෙවිඳාණන්ගේ විනිශ්චය දවස නියම නොකරන්නේ මන් ද? එතුමන් නමදින දනන් ඒ දිනය නොදන්නේ මන් ද?</verse>
				<verse number="2">දුෂ්ට දනෝ, ඉඩම් ලෝභීහු මායිම් ගල් වෙනස් කරති; ඔව්හු බැටළුවන් සොරාගෙන උන්ට කවා පොවා හදාගනිති.</verse>
				<verse number="3">සමහරු අනාථයන්ගේ කොටළුවන් සොරා ගනිති; වැන්දඹුවක ණය ගෙවන තුරු ඇගේ ගොනා තබා ගනිති.</verse>
				<verse number="4">දිළිඳුන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීම ඔව්හු වළක්වති. දුව ගොස් සැඟවෙන ලෙස දිළිඳුන් හට ඔව්හු බල කරති.</verse>
				<verse number="5">දිළින්ඳෝ වල් කොටළුවන් විලසින් මරුකතරෙහි කෑම සොයා ඔබමොබ යති. අන් කිසි තැනකින් දුප්පතුන්ට කෑම සොයාගන්නට බැරිය.</verse>
				<verse number="6">ඔව්හු අන් අය සතු කෙත් වතුවලින් අස්වැන්න රැස් කරගනිති; දුදනන්ගේ මිදිවතුවලින් මිදි පල නෙළාගනිති.</verse>
				<verse number="7">රාත්‍රියේ දී පොරවාගන්නට වස්ත්‍ර නැති ව, ශීතලයට වැස්ම නැති ව ඔව්හු නින්දට යති.</verse>
				<verse number="8">කඳුකරයෙන් එන වැස්සට දියබත් වී මුවා වන පිණිස පර්වතය අසල ඔව්හු රොක් වී සිටිති.</verse>
				<verse number="9">දුදනෝ මවු ළයෙන් අනාථ දරුවන් උදුරාගනිති. දිළිඳුන්ගේ දූ දරුවන් ඇප වෙනුවට තබාගනිති.</verse>
				<verse number="10">කය වැසුමට වත්කමක් නැති ව, නග්න ව ඒ අසරණයෝ ගමන් කරති. ඔව්හු අස්වැන්න නෙළුවත් සාගින්නෙන් පෙළෙති.</verse>
				<verse number="11">දුදනන් ඔලීව තෙල් හිඳිතත්, මිදි පල පාගා මිදියුස පෙරතත්, ඔව්හු පිපාසයෙන් පෙළෙති.</verse>
				<verse number="12">නගරයේ මරණාසන්න වූවෝ කෙඳිරි ගැසුවත්, තුවාළ වූවෝ උදව් ඉල්ලා මොරගසතත්, දෙවිඳුන් හට නො ඇසේ.</verse>
				<verse number="13">ආලෝකයට එරෙහි ව කැරලි ගසන මිනිස්සු ඇත. ආලෝකය ගැන ඔවුන්ට තේරුමක් නැත. ඒ මාවතෙහි ගමනක් නැත.</verse>
				<verse number="14">මිනීමරුවා අලුයමින් නැඟිට දිළිඳුන් හා අසරණයන් මැරීමට යයි; රාත්‍රියේ දී සොරකමට යයි.</verse>
				<verse number="15">පරදාර සේවනය කරන්නා ඇඳිරි වන තුරු බලා සිට, කිසිවෙකුට නොපෙනෙන පරිදි තම මුහුණට වැස්මක් දමා ගනියි.</verse>
				<verse number="16">සොරු රෑ අඳුරෙහි ගෙවල් බිඳිති; දවාලෙහි සැඟවී සිට එළිය මඟ හරිති.</verse>
				<verse number="17">ඔවුන්ට එළිය දරුණු ලෙස බියකරු ය; රෑ අඳුරට ඔව්හු ප්‍රිය කරති.” ශෝපර් මෙසේ පිළිතුරු දුන්නේ ය:</verse>
				<verse number="18">“දුදනෝ ජලය මත පාවෙන කුණු රොඩු වැන්න; ඔවුන් සතු වතුපිටිවල දේව සාපය ඇත. ඔව්හු තවත් මිදි වත්තේ වැඩට නොයති.</verse>
				<verse number="19">නියඟය හා ශ්‍රීෂ්මය නිසා හිම දිය වී යන්නේ ය; පාපිෂ්ඨයා එලෙස ම ජීවතුන් අතරෙන් පහ ව යයි.</verse>
				<verse number="20">වැදූ මව පවා ඔහු සිහි නොකරයි; පණුවෝ ඔහු කා දමති; බිඳ වැටුණු ගසක් මෙන් දුෂ්ටකම අවසන් වෙයි.</verse>
				<verse number="21">මෙසේ වන්නේ, ඔහු දරුවන් නැති ස්ත්‍රියට පීඩා කොට, වැන්දඹුවට කරුණාව නොදැක්වූ හෙයිනි.</verse>
				<verse number="22">දෙවි තුමන් සිය බලයෙන් බලවතුන් ඉවතට ඇද දමනු ඇත; ඔවුන් නැඟිට සිටියත්, ස්ථිර ජීවිතයක් ගැන ඔවුන්ට විශ්වාසයක් නැත.</verse>
				<verse number="23">දෙවි තුමාණෝ යහතින් විසුමට ඔවුන්ට රැකවරණය දෙන සේක; හැම මොහොතෙහි ම එතුමන්ගේ දෙනෙත ඔවුන් යන මඟ වෙත යොමු වේ.</verse>
				<verse number="24">මොහොතකට ඔව්හු උසස් වෙති; එහෙත්, වල් පැළෑටි මෙන් ඔව්හු වහා මැලවී යති. කපා දැමූ ගොයම් මෙන් ඔව්හු තුරන් ව යති.</verse>
				<verse number="25">මේ මාගේ කියමන් බොරු නම්, මාගේ ඒ තර්කය බිඳලිය හැකි යම්කිසි සමතෙක් මෙලොව ඇද් ද?”</verse>
			</chapter>
			<chapter number="25">
				<verse number="1">එවිට ෂුහිය බිල්දද් පිළිතුරු දෙමින් මෙසේ කී ය:</verse>
				<verse number="2">“ආධිපත්‍යය හා ගරුත්වය දෙවිඳුන් වෙත ඇත; එතුමන් සග ලොව විජිතයෙහි සාමය පවත්වනු ඇත.</verse>
				<verse number="3">එතුමන්ගේ දෙව් බළ සෙන් අති විශාල ය; එතුමන්ගේ එළිය උදා නොවන තැනක් ලොවෙහි ඇද් ද?</verse>
				<verse number="4">එවන් දෙවිඳුන් අබිමුවෙහි දමිටු කෙනෙකු සිටිය හැකි ද? මෙලෝ උපන් දනන් අතර නිමල කෙනෙකු සිටිය හැකි ද?</verse>
				<verse number="5">එතුමන් අබිමුව සඳ මඬලෙහි දීප්තියක් නැත; තරු පෙළ මැද කාන්තිය නැත;</verse>
				<verse number="6">එසේ නම්, කුරා කුහුඹුවෙකු වැනි, නර පණුවෙකු වැනි මිනිසා ගැන කියනුම කිම?”</verse>
			</chapter>
			<chapter number="26">
				<verse number="1">එකල ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:</verse>
				<verse number="2">“අසරණ මෙමා හට ඔබ දිරිය දුන් හැටි හරි කදිම යි! මාගේ දුබල අතට වීරිය දුන් හැටි හරි අගෙයි!</verse>
				<verse number="3">අනුවණ කෙනෙකුට ඔවා වදන් දී, හරි අවබෝධය ගෙන දුන් හැටි අනේ යස යි!</verse>
				<verse number="4">ඔබ ඔය දිග හෑල්ල කීවේ කාට ද? එය පැවසීමට වරම් ලැබුවේ කාගෙන් ද?”</verse>
				<verse number="5">බිල්දද් මෙසේ කී ය: “පාතාල ලෝකය වෙවුළා යයි; එහි වැසියෝ බියෙන් කම්පිත වෙති.</verse>
				<verse number="6">පාතාල ලෝකය දෙවිඳුන් අබිමුව විවර වී ඇත; දෙවි බැල්මෙන් එය මුවා කිරීමට වැස්මක් නැත.</verse>
				<verse number="7">දෙවි තුමාණෝ උතුරු දිග අහස විහිදුවා හළ සේක. හිස් අවකාශයෙහි පොළොව එල්ලා තබන සේක.</verse>
				<verse number="8">එතුමාණෝ වලාකුළුවල වතුර පුරවා තබන සේක; එහි බරෙන් වලාකුළු පුපුරන්නට ඉඩ නොදෙන සේක.</verse>
				<verse number="9">එතුමාණෝ සඳ මඬල ආවරණය කරන සේක; එය මත වලාකුළු විහිදුවන සේක.</verse>
				<verse number="10">එළිය අඳුරෙන් වෙන් කරන සීමාවෙහි සමුදුර මත නිම් වළල්ල අඳින සේක.</verse>
				<verse number="11">එතුමන්ගේ තර්ජන අසා, අහස උසුලා සිටින කණු බියෙන් වෙවුළා තැති ගනියි.</verse>
				<verse number="12">එතුමාණෝ සිය බලවත් බාහුවෙන් දස්කම් පා දිය රකුසා දෙබෑ කළ සේක; සත් සමුදුර නිසල කළ සේක.</verse>
				<verse number="13">එතුමන්ගේ හුස්මෙන් අහස පිවිතුරු වෙයි. එතුමන්ගේ බාහුව පලා යන දිය රකුසා දෙබෑ කරයි.</verse>
				<verse number="14">මේ එතුමන්ගේ තෙද විකුමෙන් බිඳක් පමණි; එතුමන් ගැන අපට ඇසෙන්නේ සිහින් රාවයක් පමණි; එතුමන්ගේ වීර වික්‍රම ගිගුරුම් හඬ තේරුම්ගත හැකි කාට ද?”</verse>
			</chapter>
			<chapter number="27">
				<verse number="1">ඉක්බිති ජෝබ් යළිත් මෙසේ පැවසී ය:</verse>
				<verse number="2">“මා කෙරෙන් යුක්තිය වළක්වා, සෝදුකින් මා පිරෙවූ, සව් බලැති දෙවිඳුන් නමින් මම මෙය දිවුරා කියමි:</verse>
				<verse number="3">මාගේ පණ නළ තිබෙන තුරු, දෙවිඳුන් දුන් හුස්ම ටික මා තුළ පවතින තුරු,</verse>
				<verse number="4">මා මුවින් අසත්‍යයක් වත්, කිසි මුසාවක් වත් නොකියමි.</verse>
				<verse number="5">ඔබ පවසන දේ සැබෑ යයි මම කිසි සේත් නොකියමි. දිවි ඇති තාක් මා නිවැරදි බව ම කියා සිටිමි.</verse>
				<verse number="6">මා නිවැරදි බව මම තරයේ කියා සිටිමි. දිවි ඇති තාක් මාගේ හෘදය සාක්ෂිය මට වරද නොතබයි.</verse>
				<verse number="7">‘මාගේ සතුරාට දුදනෙකුට මෙන් අවැඩක් වේවා’යි ද ‘මාගේ විරුද්ධකාරයාට නපුරක් ම වේවා’යි ද පතමි.</verse>
				<verse number="8">අභක්තිකයාගේ අවසන් හුස්ම පහ කොට, දෙවිඳුන් මරණය එවන විට ඔහුට කවර බලාපොරොත්තුවක් ඇද් ද?</verse>
				<verse number="9">විපත පැමිණෙන විට දෙවි තුමාණන් ඔහුගේ යැදුම් අසනු ඇද් ද?</verse>
				<verse number="10">ඔහු සව් බලැති දෙවි තුමන් කෙරෙහි ප්‍රීති වන්නේ ද? එතුමන්ට නිරතුරු යැදුම් පුදනු ඇද් ද?</verse>
				<verse number="11">නැත. දෙවි තුමන්ගේ බලය ක්‍රියා කරන හැටි මම ඔබට පවසන්නෙමි. සව් බලැති දෙවි තුමන්ගේ අදහස් මම ඔබට කියා දෙමි.</verse>
				<verse number="12">මේ හැම දෙය ඔබ තේරුම් ගන්නහු නම්, මෙවැනි වල්පල් ඔබ නොදොඩන්නහු ය.”</verse>
				<verse number="13">ශෝපර් මෙසේ පැවසී ය: “සැහැසි ලෙස ජීවත් වන දුදනන් හට සව් බලැති දෙවිඳුන්ගේ දඬුවම මෙසේ ය:</verse>
				<verse number="14">ඔවුන්ට දූ දරුවන් බොහෝ ඇතත්, ඔව්හු රණ බිම්හි මැරී වැටෙති. මුළු පරපුර සාගින්නෙන් පෙළෙති.</verse>
				<verse number="15">ඔවුන්ගෙන් ඉතුරු වන අය වසංගතයෙන් නැසෙති; ඔවුන් ගැන වැන්දඹුවෝ පවා නොවැලපෙති.</verse>
				<verse number="16">ඔවුන්ට පොළොවේ වැලි මෙන් රන් රිදී තිබුණත්, අපමණ රෙදිපිළි ගොඩගැහුණත්,</verse>
				<verse number="17">ඒවා පැළඳගන්නේ ඔවුන් නොව, දැහැමි අය ය; ඔවුන්ගේ රන් රිදී ද බෙදාගන්නේ නිදොස් අය ය.</verse>
				<verse number="18">දුදනා සාදන ගෙය මකුළු දැල මෙන් ද කෙත රක්නා ගොවියාගේ පැල්පත මෙන් ද වැඩි කල් නොපවතියි.</verse>
				<verse number="19">එක් දිනක් ඔහු පොහොසතෙකු ලෙස සැතපෙයි; නැවත එසේ නොකරයි. පසු දා අවදි වන විට ඔහු අතේ සතයක් නැත.</verse>
				<verse number="20">බියකරු විපත ගංවතුර මෙන් ඔහු පලවා හරියි; රෑ හමන කුණාටුව ඔහු පැහැරගෙන යයි.</verse>
				<verse number="21">පෙරදිග මාරුතයෙන් ඔහු ගහගෙන යයි; සිය නිවෙසින් ඈත පෙදෙසකට ඔහු නෙරපී යයි.</verse>
				<verse number="22">ඔහු එක පිම්මෙන් පලා යන්න හැදුවත්, මාරුතය දයාව නොපෙන්වයි; ඔහුට පහර පිට පහර දෙනු ඇත.</verse>
				<verse number="23">ඔහු පලා යන විට මාරුතය ලුහුබැඳ ගිගුරුම් දෙයි. විනාශකාරී බලයකින් ඔවුන් බිය ගන්වයි.”</verse>
			</chapter>
			<chapter number="28">
				<verse number="1">රිදී කණින ආකර ඇත; රන් පවිත්‍ර කරන කෝව ඇත.</verse>
				<verse number="2">මිනිස්සු පොළොවෙන් යකඩ හාරාගනිති; ගල් උණු කර තඹ ලබාගනිති.</verse>
				<verse number="3">මිනිස්සු ගන ‘ඳුර ඉක්මවා බලති; පොළෝ ගැබෙහි යට තැන් සොයති. අඳුරෙන් වැසුණු පර්වත සොයා හාරති.</verse>
				<verse number="4">මිනිස් වාසයෙන් ඈත, මිනිසෙකු කිසි දා පා නොතැබූ තැන්වල මිනිස්සු පතල් හාරති. කඹවල එල්ලී ඒවාට බැස තනියම වැඩ කරති.</verse>
				<verse number="5">මහ පොළොවෙන් ආහාර හට ගනියි; එහි යට පෙදෙස්වල පස ගින්නෙන් මෙන් දැවෙනු ඇත.</verse>
				<verse number="6">එහි ගල් අතර නිල්මිණි ද එහි දූවිල්ලෙහි රන් කුඩු ද ඇත.</verse>
				<verse number="7">පතල්වලට යන මාවත උකුස්සාට නොපෙනෙයි; ඊට උඩින් පියාඹා යන්නට ගිජු ලිහිණියාට එය නොපෙනෙයි.</verse>
				<verse number="8">සිංහයෙක් වත්, අන් කිසි චණ්ඩ මෘගයෙක් වත් ඒ හුදකලා මාවත්වල කිසි දා නොයයි.</verse>
				<verse number="9">මිනිස්සු කළුගල් පර්වත හාරති; කඳු හෙල් මුලින් ම උදුරා දමති.</verse>
				<verse number="10">ඔව්හු පර්වතවල බිංගෙවල් හාරා නන් වැදෑරුම් මැණික් සොයාගනිති.</verse>
				<verse number="11">ඔව්හු ගංගා නොගලන ලෙස අමුණු බැඳ, සැඟවී ඇති ධන සම්පත් හාරා පාදා ගනිති.</verse>
				<verse number="12">එහෙත්, ප්‍රඥාව සම්බ වන්නේ කොතැන්හි ද? නැණ නුවණ ඇත්තේ කොතැන ද?</verse>
				<verse number="13">ප්‍රඥාව මිනිසුන් අතර සම්බ වන්නේ නැත; කිසිවෙක් එහි අගය නොදනිති.</verse>
				<verse number="14">‘එය මා තුළ නැතැ’යි ගැඹුරු මහ සයුර කියයි; ‘එය මා වෙත නොවේ ය’යි මහ මුහුද පවසයි.</verse>
				<verse number="15">රත්රන් දී, එය මිලට ගත නොහැකි ය; එහි වටිනාකම රිදීයෙන් මිල කළ නොහැකි ය.</verse>
				<verse number="16">එය ඕපීර් රටේ රනින් වත්, අනගි නඛමාණික්‍යයෙන් වත්, නීල මාණික්‍යයෙන් වත් මිල කළ නොහැකි ය.</verse>
				<verse number="17">රන් වත්, වෛදූර්ය වත් ඊට සම කළ නොහැකි ය; පිවිතුරු රන් ආභරණවලට එය මාරු කළ නොහැකි ය.</verse>
				<verse number="18">රතු කැට හෝ පළිඟු හෝ සඳහන් කරන්නට වත් උවමනාවක් නැත. ප්‍රඥාව මුතුවලට වඩා අගනේ ය.</verse>
				<verse number="19">එතියෝපියාවේ පුෂ්පරාග ඊට සම කළ නොහැකි ය; දඹ රනින් වත් එහි අගය නියම කළ නොහැකි ය.</verse>
				<verse number="20">එසේ නම්, ප්‍රඥාව උදා වන්නේ කොතැනින් ද? නැණ නුවණ ඇත්තේ කොහේ ද?</verse>
				<verse number="21">මෙලෝ වැසි කිසිවෙකුගේ ඇසට ප්‍රඥාව නොපෙනේ. අහසේ පියාඹන පක්ෂියෙකුට වත් එය නොපෙනේ.</verse>
				<verse number="22">‘අප අසා ඇත්තේ ඒ ගැන කට කතා පමණකැ’යි විනාශයත්, මරණයත් කියති.</verse>
				<verse number="23">ප්‍රඥා මාර්ගය දන්නේ දෙවිඳාණෝ ය; එය තිබෙන තැන දන්නේත් එතුමාණෝ ය.</verse>
				<verse number="24">මන්ද, එතුමාණෝ පොළොවේ සීමාන්ත දන්න සේක; අහස යට සියල්ල දකින සේක.</verse>
				<verse number="25">එතුමාණන් සුළඟට බලවේගය දුන් විටත්, මුහුදේ ප්‍රමාණය නියම කළ විටත්,</verse>
				<verse number="26">වැසි වසින තැන් නියම කළ විටත්, මේඝගර්ජනා යා යුතු මඟ සලකුණු කළ විටත්,</verse>
				<verse number="27">එතුමාණෝ ප්‍රඥාව දැක එහි වටිනාකම ප්‍රකාශ කළ සේක. එය සොයා බලා සම්මත කළ සේක.</verse>
				<verse number="28">
					එතුමාණෝ මිනිසාට මෙසේ වදාළ සේක:
					‘දෙවිඳුන්ට ගරුබිය දැක්වීම ප්‍රඥාව වේ. නපුරෙන් වැළකී සිටීම නැණ නුවණ වේ.’ “
				</verse>
			</chapter>
			<chapter number="29">
				<verse number="1">ජෝබ් යළිදු සිය කතාව ඇරඹී ය:</verse>
				<verse number="2">“අනේ! දෙවිඳාණන් මා රැක බලා ගත් පෙර කාලයට ආපසු යා ගත හැකි නම්!</verse>
				<verse number="3">එකල එතුමාණන්ගේ පහන මාගේ හිසට උඩින් බැබළිණි. ඒ එළියෙන් මම අඳුර මැදින් ගමන් කෙළෙමි.</verse>
				<verse number="4">එකල මම සමෘද්ධිමත් ව සිටියෙමි; එතුමාණන්ගේ මිතුරුකම මාගේ නිවෙස රැකවල් කෙළේ ය.</verse>
				<verse number="5">එකල සව් බලැති දෙවි තුමාණෝ මා සමඟ සිටි සේක; මාගේ දූ දරුවෝ මා අවට වූ හ.</verse>
				<verse number="6">මාගේ ගව සම්පතෙන් කිරි ද පර්වතයේ ඔලීව ගස්වලින් තෙල් ගංගා ද ගලා ආවේ ය.</verse>
				<verse number="7">නගරයේ වාසල් දොරටු ළඟ උතුමන් සමඟ මා අසුන් ගත් කල,</verse>
				<verse number="8">තරුණයෝ මා දැක පසකට වූ හ; වයසක උදවිය සිය අසුන්වලින් නැඟී හරසර දැක්වූ හ.</verse>
				<verse number="9">ජන නායකයෝ අතින් මුව වසාගෙන කතාව නැවැත්වූ හ.</verse>
				<verse number="10">මැති ඇමතිවරු කට වසාගත් හ; සියල්ලෝ ම නිහඬ වූ හ.</verse>
				<verse number="11">මා ගැන ඇසූ දුටු කවුරු කවුරුත් මාගේ ගුණ වර්ණනා කළහ.</verse>
				<verse number="12">එසේ කෙළේ, මා දිළිඳාගේ දුක් අසා ඔවුන් මුදා ගත් බැවිනි; සරණක් නැති අනාථයන්ට මා ආධාර කළ බැවිනි.</verse>
				<verse number="13">දැඩි විපතට පත් අය මට ආසිරි පැතූ හ; මම වැන්දඹුවන්ගේ සිත ප්‍රීතියෙන් පිනා යාමට සැලැසීමි.</verse>
				<verse number="14">මම දැහැමිකම නමැති වස්ත්‍රයෙන් සැරසී, රන් සළුවක් ද මකුටයක් ද මෙන් යුක්තිය පැළඳගත්තෙමි.</verse>
				<verse number="15">මම, අන්ධයාට දෙනෙත් මෙන් ද කොරාට දෙපා මෙන් ද දිළිඳාට පියා මෙන් ද වූයෙමි. මම, නොහඳුනන අය වෙනුවෙන් මැදිහත් වූයෙමි.</verse>
				<verse number="16">***</verse>
				<verse number="17">මම අදමිටුවාගේ හක්ක බිඳ, විපතට පත් වූ අය ඔහුගේ කටින් මුදා හැරියෙමි.</verse>
				<verse number="18">එදා මා සිතුවේ මෙසේ ය: ‘මම දිගායු වළඳා දරු කැල මැද මාගේ නිවෙසෙහි යෙහෙන් මිය යෑමට නිරතුරු බලාපොරොත්තු වීමි.</verse>
				<verse number="19">පොළොවේ දිය දහර තෙක් මුල් බැස ගිය, රෑ පින්නෙන් තෙමී ගිය, අතුපතර ඇති ගසකට මම සමාන වීමි.</verse>
				<verse number="20">එවිට සියලු දෙන නිරතුරු මට පැසසුම් කළහ. මාගේ ශක්තිය ද කිසි දා හීන නො වී ය.’</verse>
				<verse number="21">මා උවදෙස් දුන් විට සෙනඟ නිහඬ ව මට සවන් දුන්හ.</verse>
				<verse number="22">මාගේ කතාව නිම කළ විට ඔව්හු වෙන කිසිවක් ඊට එකතු නොකළහ. මාගේ වචන ඔවුන්ගේ සිතට වැහි බිංදු මෙන් කාන්දු වී ගියේ ය.</verse>
				<verse number="23">වැසි එන තුරු බලා සිටින, පොසොන් වැසි වලා එන විට ප්‍රීති වන ගොවීන් මෙන් ඔව්හු මුව අයාගෙන මට සවන් දුන්හ.</verse>
				<verse number="24">මා මඳහසින් ඔවුන් දෙස බැලූ විට ඔව්හු දිරිගත්හ. මාගේ සොම්නස් මුහුණ දුටු විට ඔවුන්ගේ දොම්නස් බැල්ම පහවිය.</verse>
				<verse number="25">මම රැස්වීමේ මූලාසනය ගෙන ඔවුන් ගත යුතු පියවර සකස් කෙළෙමි. සිවුරඟ සෙනඟ පිරිවරා කඳවුරු බැඳගත් රජෙකු මෙන් මම වැජඹෙමින් අසරණයන් සැනසුවෙමි.”</verse>
			</chapter>
			<chapter number="30">
				<verse number="1">“එහෙත් දැන්, වයසින් බාල උදවිය මට සරදම් කරති. ඔවුන්ගේ පියවරු මාගේ ගව රැළ රකින බල්ලන් සමඟ නවතින්න වත් වටිත් යයි මම නොසිතුවෙමි.</verse>
				<verse number="2">ඔව්හු, වැඩපල කිරීමට දෑතේ ශක්තිය නැති, කාය බලය පිරිහී ගිය මනුෂ්‍යයෝ ය.</verse>
				<verse number="3">හිඟකම ද සාගතය ද නිසා දිවි රැක ගන්න පිණිස ඔව්හු පාළුකරයේ වියළි මුල් විකා කෑහ.</verse>
				<verse number="4">ඔව්හු, වල් පැළෑටි පඳුරු පිටින් උදුරාගත්හ; කටු ගස්වල මුල් ඔවුන්ගේ කෑම විය.</verse>
				<verse number="5">මිනිසුන් අතරෙහි ඔව්හු පලවා හරිනු ලැබූ හ. සොරුන්ට මෙන් ඔවුන්ට විරුද්ධ ව කෑගසමින් මිනිස්සු ඔවුන් ලුහුබැඳ ගියහ.</verse>
				<verse number="6">අඳුරු මිටියාවතේ අගල් හා කාණුවල ද පොළොවේ වළවල් හා ගුහාවල ද ඔව්හු වාසය කළහ.</verse>
				<verse number="7">කටු ගස් යට එක් රොක් වී පඳුරු අතර වන සතුන් මෙන් ඔව්හු බෙරිහන් දී කෑගැසූ හ.</verse>
				<verse number="8">ඔව්හු කමකට නැති, තකතීරුවන්ගේ පුතුන් මෙන් වූ හ. ඔව්හු රටෙන් නෙරපාදමනු ලැබූ හ.</verse>
				<verse number="9">එහෙත් දැන්, ඔවුන්ගේ සිනාවට ලක් වී විහිළුවක් වී සිටිමි.</verse>
				<verse number="10">ඔව්හු මා පිළිකුල් කොට මාගෙන් ඈත් වෙති; මාගේ මූණට කෙළ ගැසීමට වුවත් ඔවුන්ට බියක් නැත.</verse>
				<verse number="11">දෙවිඳුන් මා දුබලයෙකු, අසරණයෙකු කළ බැවින් ඔව්හු මා අබිමුව කිසි බියක් නැති ව හැසිරෙති.</verse>
				<verse number="12">මේ කලහකාරී පිරිස දකුණු පසින් මට පහර දෙති; මා තල්ලු කර දමති; මට විරුද්ධ ව අවසාන ප්‍රහාරයට සැරසී සිටිති.</verse>
				<verse number="13">ඔව්හු මාගේ මාර්ග අවහිර කරති; කිසි පිහිටක් නැති මට විපත්ති වැඩි කරති.</verse>
				<verse number="14">මාගේ කොටු පවුරු බිඳුණු තැන්වලින් ඇතුළට වැදී ඔව්හු මා පිට කඩා පනිති.</verse>
				<verse number="15">භීතියෙන් මම මිරිකී සිටිමි. මාගේ ගරුත්වය සුළං රැල්ලක් මෙන් ද මාගේ යස ඉසුරු වලාකුළක් මෙන් ද පහ ව ගියේ ය.</verse>
				<verse number="16">මාගේ අවසානය ඉතා ආසන්න ය. මාගේ විපතේ දී මට සහනයක් නැත.</verse>
				<verse number="17">රාත්‍රියේ දී මාගේ ඇටකටුවල වේදනාව ඇත. මා විකා කන, වේදනාවල අඩු වීමක් නැත.</verse>
				<verse number="18">එතුමාණෝ ප්‍රචණ්ඩ ලෙසින් මාගේ වස්ත්‍රය ග්‍රහණය කළහ. මාගේ කබායේ කරපටියෙන් දැඩි ලෙස අල්ලා ගත්හ.</verse>
				<verse number="19">එතුමාණන් මා මඩේ හෙළා ඇත; මම කුණු කසළ මෙන් වී සිටිමි.</verse>
				<verse number="20">මා ඔබට හඬ නැඟුවත් ඔබ පිළිතුරු නොදෙන සේක; මා නැඟිට අයැදුම් කළත් මට පිහිටක් නැත;</verse>
				<verse number="21">ඔබ මට කෲරතර ලෙස ක්‍රියා කරන සේක; ඔබේ මුළු බලය යොදා මට පීඩා කරන සේක.</verse>
				<verse number="22">ඔබ මා මාරුතයෙන් ගසාගෙන යන්නට හරින සේක. කුණාටුවෙන් ඒ මේ අත පෙරළෙන්නට සලස්වන සේක.</verse>
				<verse number="23">මරණ මංචකයට ද කාටත් නියම වූ තැනට ද ඔබ මා පමුණුවන බව මම දනිමි.</verse>
				<verse number="24">නටඹුන් ගොඩක් වැනි මට විරුද්ධ ව ඔබ පහර දෙන්නේ මන් ද? මට කළ හැකි එක ම දෙය නම්, දයාව ඉල්ලා කන්නලව් කිරීම ය.</verse>
				<verse number="25">දුකට පත් වූවන් ගැන මා වැළපුණේ නැද් ද? දිළිඳුන් ගැන මාගේ හදවතෙහි කැක්කුමක් නොවී ද?</verse>
				<verse number="26">සැපත පැතූ මා වෙත පැමිණියේ විපත ය; එළිය පැතූ මා වෙත පැමිණියේ අඳුර ය.</verse>
				<verse number="27">දහදුකින් මම පීඩිත වී සිටිමි; විපත හැර අන් කිසිවක් මා ඉදිරියෙහි නැත.</verse>
				<verse number="28">මම අව්රශ්මියෙන් නොව ශෝකයෙන් කළු ව ඇවිදිමි; සභාව මැද නැඟිට පිහිට සොයා මොරහඬ දෙමි.</verse>
				<verse number="29">මම සිවලුන්ගේ සොහොයුරෙකු ද පැස්බරුන්ගේ සහචරයෙකු ද වී සිටිමි.</verse>
				<verse number="30">මාගේ හම කළු වී, එහි පොතු ගැලවී වැටෙයි; මාගේ ඇටකටු උණෙන් දැවී යයි.</verse>
				<verse number="31">මාගේ වීණා නාදය විලාප ශබ්දයට ද මාගේ නළා ස්වර ශෝක හඬට ද වෙනස් වී ඇත.”</verse>
			</chapter>
			<chapter number="31">
				<verse number="1">“දැරියක දෙස අනුරාගී බැල්මක් නොහෙළ‍න්නට මම මාගේ දෙනෙත් සමඟ ගිවිසුමක් කෙළෙමි.</verse>
				<verse number="2">ඉහළ වසන දෙවිඳුන්ගෙන් වන ප්‍රතිවිපාක ද සගලොව සව් බලැති එතුමාණන් නියම කළ ඉරණම ද කාට නම් කිව හැකි ද?</verse>
				<verse number="3">අදමිටු දනට විනාශයත්, අයුතුකම් කරන අයට විපතත් එතුමාණන් නියම කර ඇත.</verse>
				<verse number="4">එතුමාණෝ මා යන එන තැන් බලා මාගේ හැම පියවරක් ම ගණන් නොකරන සේක් ද?</verse>
				<verse number="5">මම කපටිකමේ හැසුරුණෙම් නම්, බොරුකාරකමින් නොවැළකුණෙම් නම්,</verse>
				<verse number="6">දැහැමි බව නමැති තරාදියෙහි දමා එතුමාණෝ මා කිරා බලන සේක් නම්, මා අවංක බව දැන ගනු ඇත.</verse>
				<verse number="7">මම යහ මඟින් ඉවත් ව ගියෙම් නම්, මා සිත මාගේ බැල්මෙන් නොමඟ ගියේ නම්, මාගේ ක්‍රියා පවින් කිළිටි වී නම්,</verse>
				<verse number="8">මා වවන දෙයෙහි පලදාව අනිකෙක් අනුභව කරා වා! මාගේ කෙතේ අස්වැන්න නැති නාස්ති වේ වා!</verse>
				<verse number="9">අන් ස්ත්‍රියකට මාගේ සිත වසඟ වී නම්, මාගේ අසල්වැසියාගේ බිරිඳ ගැන සිතා, ඇගේ දොරකඩ ළඟ සැඟවී රැක සිටියෙම් නම්,</verse>
				<verse number="10">මාගේ ම බිරිඳ අන් කෙනෙකුට බැල මෙහෙවර කරා වා! අන් පුරුෂයෝ ඇය සමඟ සයනය කරත් වා!</verse>
				<verse number="11">මන්ද, එය දූෂිත අපරාධයකි, නීතියෙන් දඬුවම් දිය යුතු දරුණු ක්‍රියාවකි.</verse>
				<verse number="12">එය විනාශය දක්වා දවාගෙන යන ගින්නකි; එයින් මාගේ මුළු සම්පත විනාශ වී යනු ඇත.</verse>
				<verse number="13">මාගේ මෙහෙකරුවා හෝ මෙහෙකාරිය හෝ මට විරුද්ධ ව පැමිණිල්ලක් ගෙනා විට මම ඔවුන්ට යුක්තිය ඉටු නොකර හැරියෙම් නම්,</verse>
				<verse number="14">දෙවිඳුන් විනිසුමට පැමිණෙන විට, මම කුමක් කරම් ද? දෙවිඳුන්ගේ නඩු ආසනය ඉදිරියෙහි මම කවර උත්තරයක් දෙම් ද?</verse>
				<verse number="15">කුසෙහි මා මැවූ දෙවිඳාණෝ ඔවුනුත් නොමැවූ සේක් ද? මවු ගැබෙහි අප මැව්වේ එක ම දෙවි තුමාණෝ නොවන සේක් ද?</verse>
				<verse number="16">මම කිසි දා දිළිඳුන්ට පිහිට නොවී නොසිටියෙමි. වැන්දඹුවක දුක් බරින් පසු වන්නට ඉඩ නොහැරියෙමි.</verse>
				<verse number="17">පියා නැත්තා හට කෑම ටිකක් නොදී මම තනියම කෑම නොකෑවෙමි.</verse>
				<verse number="18">මම මාගේ බාල වියේ පටන් පියා නැත්තා හට පියෙක් වූයෙමි; උපන් දා සිට මම ඔහුට මඟ පෙන්වූයෙමි.</verse>
				<verse number="19">වස්ත්‍ර නැති ව නසින්නට යන අය ද පොරෝනාව නැති දිළිඳු අය ද දුටු විට,</verse>
				<verse number="20">මම මාගේ ම බැටළු ලොම්වලින් ඔවුන්ගේ ඇඟ උණුසුම් කෙළෙමි. එවිට ඔව්හු හද පත්ලෙන් මට ප්‍රශංසා කළෝ ය.</verse>
				<verse number="21">උසාවියේ දී මාගේ පැත්ත ගන්න අය සිටින බව මා දන්න නිසා, මම නිදොස් අයට විරුද්ධ ව අත එසවීම් නම්,</verse>
				<verse number="22">මාගේ උරහිස එහි හන්දියෙන් ගැලවී වැටේ වා! මාගේ අත වැලමිටෙන් බිඳී යේ වා!</verse>
				<verse number="23">මන්ද දෙවිඳාණන්ගෙන් පැමිණෙන විනාශය මට භීතියක් විය; එතුමාණන්ගේ මහානුභාවයට මුහුණ දීමට මට ශක්තියක් නො වී ය.</verse>
				<verse number="24">මම කවදාවත් මාගේ ධනසම්පත් කෙරෙහි වත්, මාගේ රන් රිදී කෙරෙහි වත් විශ්වාසය නොතැබීමි.</verse>
				<verse number="25">මාගේ යසඉසුරු ගැන වත්, මා උපයා ගත් වස්තුව ගැන වත් අහංකාර නොවූයෙමි.</verse>
				<verse number="26">මම කවදාවත් ප්‍රතාපවත් හිරු දෙවියන්ට හෝ රුවින් යුත් සඳ දෙවියන්ට හෝ නමස්කාර නොකෙළෙමි.</verse>
				<verse number="27">හස්තමුද්‍රාවෙන් සිඹීමේ පෙම් ලකුණ දක්වා, ඔවුන් නමදින පිණිස මට පෙළඹීමක් නො වී ය.</verse>
				<verse number="28">එය සව් බලැති දෙවිඳුන්ට පිටුපා යාමකි. එවන් පාප ක්‍රියාවකට යුතු දඬුවම මරණය වේ.</verse>
				<verse number="29">මට වෛර වූ අයට විනාශය පැමිණි විට මම සන්තෝෂ නොවූයෙමි. ඔවුන් විපතට අසු වූ විට ප්‍රීති නොවූයෙමි.</verse>
				<verse number="30">‘ඔවුන්ට මරණය පැමිණේ වා’යි සාප කිරීමෙන් හෝ දෙස් කීමෙන් හෝ මම පව් නොකෙළෙමි.</verse>
				<verse number="31">මා අමුත්තන් සතුටින් පිළිගන්න බව මට සේවය කරන හැම දෙන ම දනිති.</verse>
				<verse number="32">අමුත්තන්ට පිටත වීදිවල රැය ගත කිරීමට නෑර මම ඔවුන් මාගේ නිවෙසට පිළිගතිමි.</verse>
				<verse number="33">වෙන අය සිය පව්කම් සිතේ සඟවා තබාගනිති; එහෙත්, මම මාගේ අපරාධ කිසි කලක වසන් නොකෙළෙමි.</verse>
				<verse number="34">සෙනඟගේ කටකතාවලට බියෙන් වත්, මිනිසුන්ගේ අපරාධ නිසා කැළඹීමෙන් වත් මම නිහඬ වී, ගේ ඇතුළට වී නොසිටියෙමි.</verse>
				<verse number="35">අහෝ! මට සවන් දෙන කෙනෙක් නැද් ද? මා කියන හැම වචනයක් ම සත්‍ය බවට මෙන්න, මාගේ අත්සන තබමි. සව් බලැති දෙවිඳාණෝ මට උත්තර දෙන සේක් වා! මාගේ එදිරිකරු මට විරුද්ධ ව ලියූ පැමිණිලි පත්‍රය මට ඇත්නම්!</verse>
				<verse number="36">සැබැවින් මම එය කරපින්නා ගන්නෙමි; හිස මත කිරුළක් මෙන් පළඳින්නෙමි.</verse>
				<verse number="37">මා ගත් පියවර සියල්ල එතුමාණන්ට කියා සිටින්නෙමි; රාජ කුමාරයෙකු මෙන් එතුමාණන් වෙත යන්නෙමි.</verse>
				<verse number="38">මාගේ කෙත් වතු මට විරුද්ධ ව කෑගැසී නම්, ඒවායේ සියලු හීවිටි හඬා පැමිණිලි කෙළේ නම්,</verse>
				<verse number="39">මම මිල නොගෙවා අස්වැන්න බුදිම් නම්, ඉඩම් හිමියන්ගේ ජීවිත හානි කෙළෙම් නම්,</verse>
				<verse number="40">මාගේ කෙත්වල තිරිඟු වෙනුවට කටු ගස් ද යව වෙනුවට වල්ගස් ද වැවේ වා!” ජෝබ්ගේ කතාව නිමි.</verse>
			</chapter>
			<chapter number="32">
				<verse number="1">තමා නිවැරදි යයි ජෝබ් සිතූ බැවින්, මේ මිනිස්සු තුන්දෙන ඔහුට පිළිතුරු දීම නැවැත්වූ හ.</verse>
				<verse number="2">එවිට රාම්ගේ පෙළපතේ බූසීය බාරකෙල්ගේ පුත් එලීහුගේ කෝපාග්නිය ඇවිළිණි. ජෝබ්ට විරුද්ධ ව ඔහුගේ කෝපාග්නිය ඇවිළී ගියේ, ජෝබ් තමා නිවැරදි බවත්, දෙවියන් වහන්සේ වැරදි බවත් කියා පෑ බැවිනි.</verse>
				<verse number="3">ඔහුගේ මිතුරන් තුන්දෙන ද ජෝබ් කෙරේ වරද තැබූ නමුත්, ඔහුට පිළිතුරු දීමට අසමත් වූ බැවින් ඔවුන්ට විරුද්ධ ව ද ඔහුගේ කෝපාග්නිය ඇවිළී ගියේ ය.</verse>
				<verse number="4">එලීහු ඔහුගේ මිතුරන්ට වඩා වයසින් බාල වූයෙන්, ජෝබ්ට පිළිතුරු දීමට ඉදිරිපත් නො වී ය.</verse>
				<verse number="5">එහෙත්, ඒ තුන්දෙනා පිළිතුරක් නොදෙන බව ඔහු දුටු විට ඔහුගේ කෝපය ඇවිස්සුණේ ය.</verse>
				<verse number="6">එකල බූසීය බාරකෙල්ගේ පුත් එලීහු පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “මම නම් වයසින් බාල ය; ඔබ වනාහි වයසක උදවිය ය; එබැවින් මා දන්න දේ ඔබ ඉදිරියේ පැවසීමට බිය ව මම පසෙකට වී සිටියෙමි.</verse>
				<verse number="7">‘වයසක උදවිය කතා කළ යුතු යි; දිගායු වැළඳු අය ප්‍රඥාව පැවසිය යුතු යි,’ යනු මාගේ වැටහීම යි.</verse>
				<verse number="8">එහෙත්, මිනිසාට ප්‍රඥාව දෙන්නේ, සව් බලැති දෙවිඳුන්ගේ ආනුභාවය බව දැන් මම දනිමි.</verse>
				<verse number="9">ප්‍රඥාව ඇති වන්නේ, වයස්ගත වීමෙන් පමණක් නොවේ. හරි දේ දන්නෝ, වැඩිමහල් අය පමණක් නොවෙති.</verse>
				<verse number="10">එබැවින් මා වදන්වලට සවන් දෙන්න; මමත් දන්න දේ කියන්නෙමි.</verse>
				<verse number="11">මෙන්න, ඔබේ නැණවත් කතාවට සතුටින් මම සවන් දිනිමි. ඔබේ වාදයට හොඳින් කන් දී සිටියෙමි.</verse>
				<verse number="12">ඔබ තිදෙනා කී දේට මාගේ අවධානය යෙදුවෙමි. එහෙත්, ජෝබ්ගේ තර්ක බිඳීමට වත්, ඔහුගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට වත් සමතෙක් ඔබ අතර නො වී ය.</verse>
				<verse number="13">එබැවින්, ‘අපට ප්‍රඥාව සම්බ වී ය’යි නොකියන්න වග බලාගන්න. ඔහු පරාජය කළ හැකි දෙවිඳුන්ට ම පමණකි, මිනිසාට නම් නොහැකි ය.</verse>
				<verse number="14">ජෝබ්ගේ තර්ක එල්ල කෙළේ මට නොවේ, ඔබට ය; එහෙත්, ඔබ පිළිතුරු දුන් ලෙස මම පිළිතුරු නොදෙමි.</verse>
				<verse number="15">ඔව්හු භිරාන්ත ව නිහඬ ව සිටිති; පිළිතුරු දීමට ඔවුන්ට වචන නැත.</verse>
				<verse number="16">කිය හැකි දෙයක් නැති ව ඔව්හු බලාගෙන සිටිති; ඔවුන් නිහඬ ව සිටිය දී මම කිසිත් නොකියා නිකම් හිඳිම් ද?</verse>
				<verse number="17">දැන් මටත් පිළිතුරු දීමට වාරයක් ඇත; මා දන්න දෙයක් මමත් කියමි.</verse>
				<verse number="18">කට පුරා වචන ධාරා ගලා එද්දී, මට කතා නොකර සිටිය හැකි ද?</verse>
				<verse number="19">මට සුවය ලැබෙන ලෙස කතා කිරීමට ඉඩක් නොලැබුණොත් මාගේ හදවත රැස් නොගිය අලුත් මිදි පැන් දැමූ සම් භාජනයක් මෙන් පුපුරා යනු ඇත.</verse>
				<verse number="20">මෙය මට දරාගත නොහැකි ය. නිහඬ ව නොසිට මා පිළිතුරු දිය යුතු ම ය.</verse>
				<verse number="21">මම කිසිවෙකුගේ පැත්ත නොගනිමි. මම කිසිවෙකුට ඉච්ඡා බස් නොකියමි.</verse>
				<verse number="22">ඉච්ඡා බස් තෙපලීමට මම නොදනිමි. මා එසේ කළොත් මාගේ මැවුම්කරුවාණන් වහා ම මා ලොවින් තුරන් කරනු ඇත.”</verse>
			</chapter>
			<chapter number="33">
				<verse number="1">“කෙසේ වුව ද, ජෝබ් තුමෙනි, මා කියන හැම දෙයට ම ඉතා හොඳින් සවන් දෙන්න.</verse>
				<verse number="2">මෙන්න, මම පිළිතුරු දීමට සැරසී සිටිමි. මාගේ වචන දැන් දිව’ග ලෙල දෙයි.</verse>
				<verse number="3">මා කියන හැම දෙය ම අවංක ය, මා මුවින් නික්මෙන දෙය සත්‍ය ය.</verse>
				<verse number="4">දිව්‍ය ආත්මයාණෝ මා මැවූ සේක; සව් බලැති එතුමන්ගේ හුස්ම මට දිවිය දී ඇත.</verse>
				<verse number="5">ඔබට හැකි නම්, මට උත්තර දෙන්න; හොඳින් සූදානම් වී මට විරුද්ධ ව තර්ක ඉදිරිපත් කරන්න.</verse>
				<verse number="6">දෙවි තුමන් අබිමුව ඔබත්, මමත් එක වාගේ ම ය. අපි දෙදෙනා ම පොළොවේ පසින් සාදනු ලැබුවෙමු.</verse>
				<verse number="7">මා ගැන බියෙන් තැති ගත යුතු නොවේ. මාගේ බලපෑම ඔබට වෙහෙසක් නො වේ වා!</verse>
				<verse number="8">ඔබේ කීම්වලට මමත් සවන් දිනිමි; මෙන්න, ඔබ මෙසේ කියනු මම අසාගෙන සිටියෙමි;</verse>
				<verse number="9">‘මම නිදොස් ය; අයුතුකමක් මා තුළ නැත. මම නිර්මල ය; මා තුළ පවක් නැත.</verse>
				<verse number="10">එහෙත්, දෙවිඳාණෝ මට එරෙහි ව කරුණු සොයා, මා සතුරෙකු ලෙස ගණන් ගන්න සේක.</verse>
				<verse number="11">
					මාගේ පාද දඬුකඳේ දමන සේක;
					මා කරන හැම දෙය ම මුර කරන සේක.’ මේ වදන් ඔබ කීවෙහි ය.
				</verse>
				<verse number="12">ජෝබ් තුමෙනි, මෙන්න, ඊට මාගේ පිළිතුර; ඔබ කීවා වැරදි ය. දෙවිඳාණෝ මිනිසාට වඩා උතුම් ය.</verse>
				<verse number="13">එතුමන්ට එරෙහි ව වාද විවාද කරන්නේ මන් ද? එතුමන්ගේ තර්කවලට කාට මූණ දිය හැකි ද?</verse>
				<verse number="14">දෙවි තුමාණෝ නැවත නැවත කතා කරන සේක; එහෙත්, මිනිසා සලකන්නේ නැත.</verse>
				<verse number="15">
					එතුමාණෝ සිහිනයකින් හෝ රැයේ දර්ශනයකින් හෝ මිනිසා බර නින්දට පැමිණි විට යහන මත නින්දේ දී හෝ ඔහුට කතා කරන සේක.
				</verse>
				<verse number="16">දෙවිඳාණෝ මිනිසුන්ගේ කනට කොඳුරා එතුමන්ගේ තර්ජනවලින් ඔවුන් බිය ගන්වන සේක.</verse>
				<verse number="17">එකල මිනිසා ඔහුගේ පාපයෙන් වළක්වන පිණිස, ඔහුගේ උඩඟුකම පහකරන පිණිස,</verse>
				<verse number="18">ඔහුගේ ජීවිතය මිනීවළෙන් ද ඔහුගේ පණ කෙන්ද කඩුපතින් ද රැක ගන්න පිණිස දෙවිඳාණෝ එසේ කරන සේක.</verse>
				<verse number="19">දෙවිඳාණෝ, මිනිසාට ලෙඩ රෝග එවීමෙන් ද ඔහුගේ ඇඟපතට වේදනා ඇති කිරීමෙන් ද ඔහු යහ මඟ යවන සේක.</verse>
				<verse number="20">එවිට රෝගියාට කෑම ප්‍රිය නැත; රස බොජුන් වුව ද, ඔහු අප්‍රිය කරයි.</verse>
				<verse number="21">ඔහුගේ සිරුර ක්ෂය වී ගොස්, හමින් වැසුණු ඇටකටු පෑදී පෙනෙයි.</verse>
				<verse number="22">ඔහුගේ ප්‍රාණය මිනීවළට ද ජීවිතය මළවුන්ගේ ලොවට ද ළං වේ ගෙන යයි.</verse>
				<verse number="23">මිනිසා හට තම හරි වැරදි පහදන පිණිස, ඔහුගේ සහයට දූතයන් දහසකගෙන් එක් කෙනෙකු වත් සමහර විට එනු ඇත.</verse>
				<verse number="24">දූතයා ඔහුට දයා වී, ‘මෙන්න, ඔහුගේ මිදීමේ මිලය! එය රැගෙන ඔහු මිනීවළට යන්නට නොදී, ඔහු මුදාහරින්නැ’යි කියනු ඇත.</verse>
				<verse number="25">එවිට ඔහුගේ මාංසය තරුණයෙකුගේ මාංසය මෙන් සවිමත් වනු ඇත; ඔහු යළි සිය නව යොවුන් වියට පැමිණෙනු ඇත.</verse>
				<verse number="26">ඔහු දෙවිඳුන්ට අයැදින විට එතුමාණෝ ඔහුට පිළිතුරු දෙන සේක. එවිට ඔහු ප්‍රීතියෙන් එතුමාණන් නමදින්නේ ය. දෙවි තුමාණෝ යළි ඔහු දැහැමිකමට පමුණුවන සේක.</verse>
				<verse number="27">ඔහු මිනිසුන් ඉදිරියෙහි ගී ගයමින්, ‘මම පව් කෙළෙමි; දූෂණය කෙළෙමි. එහෙත්, දෙවි තුමාණෝ මට සමාව දුන් සේක.</verse>
				<verse number="28">මිනීවළට යාමෙන් එතුමාණෝ මා මිදූ සේක; දැන් මාගේ ජීවිතයට එළිය දැක්ක හැකි ය’යි කියනු ඇත.</verse>
				<verse number="29">මිනිසා මරණින් මුදන පිණිසත්</verse>
				<verse number="30">ජීවත් වීමේ ප්‍රීතිය ඔහුට දෙන පිණිසත් දෙවි උතුමාණෝ නැවත නැවත මේ සියල්ල ඔහු උදෙසා කරන සේක.</verse>
				<verse number="31">එම්බා, ජෝබ් තුමෙනි, හොඳට සවන් දෙන්න. මා කතා කරන විට නිහඬ ව ඉන්න.</verse>
				<verse number="32">කියන්න යමක් ඔබට ඇත්නම්, මට පිළිතුරු දී කතා කරන්න. මාගේ කැමැත්ත නම්, ඔබ නිවැරදි බව පිළිගැනීම ය.</verse>
				<verse number="33">නැති නම්, මට සවන් දී නිහඬ ව ඉන්න. මම ඔබට ප්‍රඥාව පහදා දෙමි.”</verse>
			</chapter>
			<chapter number="34">
				<verse number="1">තවදුරටත් එලීහු පිළිතුරු දෙමින්</verse>
				<verse number="2">“ප්‍රඥාවන්තයෙනි, මට කන් දෙන්න; හසළ බුද්ධිමතුනි, ම බසට සවන් දෙන්න.</verse>
				<verse number="3">දිව කෑමෙහි රස බලන්නාක් මෙන් කන කතාවක අගය දනියි.</verse>
				<verse number="4">යුක්තිය කොහේ දැ යි අපි සෝදිසි කර බලමු; යහපත කවරේ දැ යි අපි තීරණය කරමු.</verse>
				<verse number="5">ජෝබ් කතා කොට මෙසේ කී ය: ‘මා තුළ වරදක් නැත; එහෙත්, දෙවිඳාණෝ මාගේ අයිතිය පහකළ සේක;</verse>
				<verse number="6">මා යුක්ති සහගත වුව ද, මා බොරුකාරයෙකැ යි ගණන් ගනු ලැබේ. මා අත වරදක් නැතත් මම තුවාළවලින් අසාධ්‍ය ව සිටිමි.’</verse>
				<verse number="7">දෙවිඳුන්ට ගෞරව නොකරන ජෝබ් වැනි මිනිසෙක් තවත් ඇද් ද?</verse>
				<verse number="8">ඔහු දුදනන් හා සමාගම් පවත්වමින් පවිටුන් සමඟ ගමන් කරන්නේ ය.</verse>
				<verse number="9">‘දෙවිඳුන්ගේ ප්‍රසාදය දිනාගැනීමෙන් මිනිසෙකුට කවර ප්‍රයෝජනයක් වේ දැ’යි ඔහු කියයි.</verse>
				<verse number="10">දැනුම් තේරුම් ඇති භවතුනි, මෙය අසන්න. දෙවිඳාණෝ කිසිදාක වරදක් කරන සේක් ද? සව් බලැති උතුමාණෝ අයුත්තක් කරන සේක් ද?</verse>
				<verse number="11">
					මන්ද, එතුමාණෝ මිනිසෙකුගේ ක්‍රියාවල හැටියට ඔහුට ප්‍රතිඵල දෙන සේක.
					එකිනෙකාගේ හැසිරීම අනුව විපාක දෙන සේක.
				</verse>
				<verse number="12">එසේ ය, සැබැවින් ම දෙවි තුමාණෝ වරදක් නොකරන සේක. සව් බලැති දෙවිඳාණෝ යුක්තිය නොපෙරළන සේක.</verse>
				<verse number="13">මහ පොළොව එතුමාණන්ට භාර දුන් කෙනෙක් ඇද් ද? මුළු සක්වළ ආධිපත්‍යය එතුමාණන් අන් කෙනෙකුගෙන් ලත් දෙයක් ද?</verse>
				<verse number="14">දෙවි තුමාණන් මිනිසාගේ ජීවිතය පැහැර ගතහොත්, ඔහුගේ හුස්ම ඔහුගෙන් ඇදගතහොත්</verse>
				<verse number="15">මුළු මිනිස් සංහතිය ම නසිනු ඇත; පෙරළා දූවිල්ලට යනු ඇත.”</verse>
				<verse number="16">“ඉතින් ජෝබ්, ඔබ නුවණ ඇති කෙනෙක් නම්, මේ මාගේ වචනයට සවන් දෙන්න.</verse>
				<verse number="17">යුක්තිය නුරුස්නා කෙනෙකුට ලොවක් ආණ්ඩු කළ හැකි ද? සව් බලැති, ධර්මිෂ්ඨ තැනැන් වහන්සේ පිට ඔබ වරද තබන්නෙහි ද?</verse>
				<verse number="18">රජෙකුට, ‘නපුරා ය’යි ද උතුමෙකුට, ‘දුෂ්ටයා ය’යි ද කියන,</verse>
				<verse number="19">අධිපතීන්ගේ තරාතිරම් නොබලන, දිළිඳාට වඩා ධනවතාට කරුණාව නොදක්වන දෙවිඳුන් පිට ඔබ වරද තබන්නෙහි ද? ඒ හැම දෙන ම මැවූයේ දෙවි තුමාණෝ ය.</verse>
				<verse number="20">ඔව්හු මොහොතකින් නසිති; ඔවුන් හැම, මැදියම් රෑ එක් ඇසිල්ලකින් නැසී යනු හැක; බලවතෙකු වුව ද පහසුවෙන් පහ ව යනු ඇත.</verse>
				<verse number="21">එතුමාණන්ගේ දෑස මිනිසුන්ගේ ක්‍රියා මාර්ගය දෙස ඇත. ඔවුන්ගේ හැම පියවරක් ම එතුමාණෝ දන්න සේක.</verse>
				<verse number="22">දුදනන් හට එතුමාණන් කෙරෙන් සැඟවී සිටිය හැකි තරම් ගන’ඳුරක් වත්, තද කළුවරක් වත් නැත.</verse>
				<verse number="23">නඩු විනිශ්චය සඳහා මිනිසෙකු දෙවි තුමන් වෙත පමුණුවනු වස් නියමිත දිනයක් නැත.</verse>
				<verse number="24">විභාගයක් නොපවත්වා එතුමාණෝ බලවතුන් පහකොට ඒ වෙනුවට වෙන අය පත් කරන සේක.</verse>
				<verse number="25">එතුමාණෝ ඔවුන්ගේ ක්‍රියා දන්න බැවින්, ඔවුන් සුන් වන ලෙස රැයේ දී ඔවුන් පෙරළාදමන සේක.</verse>
				<verse number="26">එබැවින් දෙවි තුමාණෝ ප්‍රසිද්ධියේ ම ඔවුන් දුදනන් ලෙස සලකා පහර දෙන සේක.</verse>
				<verse number="27">එසේ වූයේ: ඔවුන් එතුමාණන්ට කීකරු වීම අත්හැරදැමූ නිසා ය; එතුමාණන්ගේ සියලු මාර්ග නොසලකා හැරිය නිසා ය.</verse>
				<verse number="28">ඔව්හු දිළිඳුන්ගේ මොරගැසීම එතුමාණන් වෙත නැඟී එන්නට සැලැස්වූ හ, දුගී ජනයාගේ අයැදුමට එතුමාණෝ සවන් දුන් සේක.</verse>
				<verse number="29">නිහඬ ව සිටියත්, එතුමාණන්ට වරද තබන්නෝ කවරහු ද? කිසිත් නොකර සිටියත්, එතුමාණන්ට දොස් තැබිය හැකි ද?</verse>
				<verse number="30">හිතුවක්කාර සෙනඟක් කෙරේ හෝ ජාතියක් කෙරේ හෝ එතුමාණන් අභක්තිකයෙකු රජකමට පත් කළත් කුමක් කළ හැකි ද?</verse>
				<verse number="31">යම් කෙනෙකු දෙවිඳුන්ට මෙසේ කීවොත්, එනම්, ‘මම දඬුවම් වින්දෙමි; මින්පසු තවදුරටත් වැරදි නොකරමි;</verse>
				<verse number="32">අනේ! මා වැනි නීච කාලකණ්ණියෙක්, මට හරි මඟ පෙන්වනු මැනව. මම මීට පෙර කුමන වරදක් කළත්, මින්මතු පව් නොකරමි.’</verse>
				<verse number="33">මේ කියමන නිසා, දෙවිඳුන් ප්‍රතික්ෂේප කිරීමේ ඔබේ වරද දෙවි තුමන් ගණන් නොගෙන හරිනු ඇද් ද? තීරණය ඔබ අතේ ය, මා අත නොවේ. ඔබ දත් පමණින් පිළිතුර අපට කියන්න.</verse>
				<verse number="34">සිහි නුවණ ඇති උදවිය, නැණ නුවණ ඇති හැම දෙන, මට මෙසේ කියනු නිසැක ය;</verse>
				<verse number="35">‘ජෝබ් අඥාන ලෙස කතා කරයි; ඔහු කියන දෙයෙහි තේරුමක් නැත.</verse>
				<verse number="36">ජෝබ් දුෂ්ට මිනිසෙකු මෙන් උත්තර දෙන බැවින්, ඔහු අවසාන තීන්දුවට ම ඉදිරිපත් කළොත් යෙහෙකි.</verse>
				<verse number="37">ඔහු පව්කරුවෙකු පමණක් නොව, කැරලිකරුවෙකු ද වී ඇත; ඔහු ප්‍රලාප දොඩමින් දෙවිඳුන් හට අවමන් කරයි.’ “</verse>
			</chapter>
			<chapter number="35">
				<verse number="1">එලීහු තවදුරටත් කතා කරමින් මෙසේ කීවේ ය:</verse>
				<verse number="2">“ජෝබ්, ඔබ කියන දේ යුක්ති සහගත යයි ඔබ සිතන්නෙහි ද? දෙවිඳුන් ඉදිරියෙහි ඔබ නිවැරදි යයි සිතන්නෙහි ද?</verse>
				<verse number="3">‘මාගේ පව්වලින් ඔබට කුමන පලක් ද? පව් නොකර සිටීමෙන් මට ලැබුණු වාසිය කුමක් දැ යි අසන එක හරි ද?</verse>
				<verse number="4">ඔබටත්, ඔබේ මිතුරන්ටත් මම මේ පිළිතුර දෙමි.</verse>
				<verse number="5">අහස දෙස නෙත් යොමා බලන්න; ඈත ඉහළ අහසෙහි පාවෙන වැහි වලාකුළු දෙස බලන්න; ඒවා කොපමණ ඉහළින් ඇද්දැ යි කල්පනා කරන්න.</verse>
				<verse number="6">
					ඔබ පව් කළත්, දෙවිඳුන්ට එයින් විපතක් ඇද් ද?
					ඔබ කොතරම් වැරදි කළත්, දෙවිඳුන්ට එයින් පීඩාවක් ඇද් ද?
				</verse>
				<verse number="7">ඔබ දැහැමි ව සිටීමෙන් දෙවිඳුන්ට කුමන ආධාරයක් දෙන්නෙහි ද? එයින් දෙවි තුමන්ට ලැබෙන වාසිය කුමක් ද?</verse>
				<verse number="8">ඔබේ දුෂ්ටකමින් අවැඩක් වන්නේ ඔබ වැනි මිනිසුන්ට පමණකි. ඔබේ දැහැමිකමින් මුළු මිනිස් වර්ගයාට වැඩක් වනු ඇත.</verse>
				<verse number="9">තාඩන පීඩන නිසා මිනිස්සු විලාප කියති; බලවතුන්ගේ පීඩාව නිසා ඔව්හු පිහිට සොයා කෑගසති.</verse>
				<verse number="10">එහෙත්, වනයේ මෘගයන්ට වඩා අපට දැනුම දෙන, අහසේ පක්ෂීන්ට වඩා අපට නැණ නුවණ දෙන, අඳුරේ දී අපට සවිය දෙන මැවුම්කාර දෙවි උතුමාණෝ කොතැන්හි දැ යි අසන කිසිවෙක් නැත.</verse>
				<verse number="11">***</verse>
				<verse number="12">ඔවුන් පිහිට ඉල්ලා මොරගසන නමුත්, ඔවුන්ගේ අහංකාරය හා දුෂ්ටකම නිසා, දෙවිඳුගෙන් ඔවුන්ට පිළිතුරක් නැත.</verse>
				<verse number="13">ඒ මොරගැසීමෙන් වැඩක් නැත; දෙවිඳාණෝ සවන් නොදෙන සේක. සව් බලැති උතුමාණෝ එය නොසලකන සේක.</verse>
				<verse number="14">ජෝබ්, ‘මට දෙවිඳුන් නොපෙනේ ය. එහෙත්, නඩුව එතුමාණන් අතේ ය; මම ඉවසිල්ලෙන් බලා සිටින්නෙමි’යි ඔබ කියන්නෙහි ය,</verse>
				<verse number="15">‘දැන්, එතුමාණෝ උදහස් ව දඬුවම් නොකරන සේකැ’යි ද ‘ඒ අපරාධය ගැන වැඩි සැලකිල්ලක් නොදක්වන සේකැ’යි ද ඔබ සිතන්නෙහි ද?</verse>
				<verse number="16">එබැවින් ජෝබ්, ඔබ මුව අයා කතා කරන්නට යාමෙන් වැඩක් නැත; ඔබ පවසන දෙය ඔබට ම තේරෙන්නේ නැත.”</verse>
			</chapter>
			<chapter number="36">
				<verse number="1">එලීහු මෙසේ ද කීවේ ය:</verse>
				<verse number="2">“දෙවිඳුන් ගැන කිය යුතු තවත් දේ ඇත; ඒවා ඔබට පෙන්වා දෙන තුරු මඳක් ඉවසන්න.</verse>
				<verse number="3">මා දන්න දෙයින්, මාගේ පුළුල් අවබෝධයෙන් මාගේ මැවුම්කාර උතුමාණන්ගේ දැහැමි බව පෙන්වා දෙමි.</verse>
				<verse number="4">මන්ද, මාගේ තර්කවල බොරුවක් නැත. විශිෂ්ට පැණවතෙකු ඔබ ඉදිරියෙහි සිටින බව ඔබට පෙනෙනු ඇත.</verse>
				<verse number="5">දෙවිඳාණෝ බලවත් ය, එහෙත්, කිසිවෙකු, සුළු නොකරන සේක. එතුමාණන්ගේ ප්‍රඥා මහිමය උදාර ය.</verse>
				<verse number="6">දෙවි තුමාණෝ අදමිටුවන්ට ඉසුරුමත් වන්නට ඉඩ නොදෙන සේක. එහෙත්, දිළිඳුන්ගේ හා පීඩිතයන්ගේ අයිතිවාසිකම් සලසා දෙන සේක.</verse>
				<verse number="7">එතුමාණෝ, දැහැමියන්ට රැකවරණය දෙන සේක; සිහසුන් අරා, නිරිඳුන් මෙන් ගෞරවයෙන් සැම දා රට පාලනය කරන්නට ඔවුන්ට ඉඩ දෙන සේක.</verse>
				<verse number="8">එහෙත්, සෙනඟ විලංගුවලින් බඳිනු ලැබ, දුක් පීඩා නමැති යදම්වලට අසු වී සිටිත් නම්,</verse>
				<verse number="9">දෙවිඳාණෝ ඔවුන්ගේ පාපය හා අහංකාරය ඔවුන්ට පෙන්වා දෙන සේක.</verse>
				<verse number="10">ඔවුන්ට දැනුමැතිකම් දී, අයුක්තියෙන් ඉවත් වන ලෙස අණ කරන සේක.</verse>
				<verse number="11">ඔවුන් කීකරු වී එතුමාණන්ට මෙහෙ කළොත්, ඔව්හු දිවි ඇති තාක් යස ඉසුරෙන්, සව් සැපතින් දවස් යවති.</verse>
				<verse number="12">එහෙත්, අකීකරු වුවහොත්, කඩු පහරින් වැනසී, මළවුන්ගේ ලොවට එතෙර වී යති.</verse>
				<verse number="13">එහෙත්, අභක්තිකයන් උදහස් ව ම සිටිනු ඇත. ඔවුන්ට දඬුවම ආවත් ඔව්හු පිහිට පතා අයැදුම් නොකරති.</verse>
				<verse number="14">යොවුන් වියෙහි සිටිය දී ම ඔව්හු අපකීර්තියට ලක් වී විනාශ වෙති.</verse>
				<verse number="15">දෙවිඳාණෝ, දුක් විඳීම මඟින් දුක් විඳින්නන්ට ගැළවීම දෙන සේක. පීඩාව කරණකොටගෙන ඔවුන්ගේ ඇස් පහදන සේක.</verse>
				<verse number="16">දෙවිඳාණෝ ඔබ විපතින් මුදා, සුරැකෙන තැනක පිහිටුවා ඔබේ කෑම මේසය මංගල භෝජනයෙන් පිරෙවූ සේක.</verse>
				<verse number="17">එහෙත් දැන්, ඔබ දුදනන් සාධාරණ ලෙස විනිශ්චය නොකරන්නෙහි ය. විනිශ්චයයට හා සාධාරණකමට ගරු නොකරන්නෙහි ය.</verse>
				<verse number="18">අල්ලසින් මුළා නොවීමට ද ධන සම්පතින් නොරැවටෙන්නට ද වග බලාගන්න.</verse>
				<verse number="19">ඔබේ මොරගැසීම වත්, ශක්තියේ බලය වත් ඔබට පීඩාවෙන් ගැළවීමට ආධාරයක් නොවනු ඇත.</verse>
				<verse number="20">ජාතීන්ගේ විනාශය පමුණුවන අඳුරු රැයට ආසා නොවන්න.</verse>
				<verse number="21">අදමිටු මඟෙහි නොයාමට බලාගන්න; දුක් පීඩා පැමිණියේ, ඔබ ඒ මඟින් වළක්වන පිණිස ය.</verse>
				<verse number="22">දෙවිඳුන්ගේ බල මහිමය කොතරම් විශාල ද? දෙවිඳුන් සම ගුරුවරයෙක් තවත් ඇද් ද?</verse>
				<verse number="23">දෙවිඳුන් යා යුතු මඟ නියම කරන්නට සමතා කවරේ ද? ‘ඔබ වරද කර ඇතැ’යි එතුමාණන්ට කීමට කාට හැකි ද?</verse>
				<verse number="24">මිනිසුන් කවදාත් එතුමාණන්ට පැසසුම් දී ඇත; ඔබත් එතුමාණන්ට පැසසුම් දීමට සිතට ගන්න.</verse>
				<verse number="25">එතුමාණන් කර ඇති සියල්ල සැම දෙන දැක ඇත. එහෙත්, එතුමාණන් යථා පරිදි තේරුම්ගත හැකි කිසිවෙක් නැත.</verse>
				<verse number="26">දෙවිඳුන් අති ශ්‍රේෂ්ඨ ය; අපි එතුමාණන් නොදනිමු. එතුමාණන්ගේ ආයු ප්‍රමාණය දන්නෝ කවුරු ද?</verse>
				<verse number="27">දිය බිංදු පොළොවෙන් ඉහළට ඇදගෙන, වාෂ්ප මඟින් වැසි වස්වන්නේ දෙවිඳාණෝ ය.</verse>
				<verse number="28">වලාකුළුවලින් වැස්ස මවා, සව් සත වෙත එය එවන්නේ එතුමාණෝ ය.</verse>
				<verse number="29">වලාපටල විහිදී යන්නේ කෙසේ ද කියාවත්, එතුමාණන්ගේ මණ්ඩපවලින් ගිගුරුම් නඟින්නේ කෙසේ ද කියාවත් දන්නෝ කවුරු ද?</verse>
				<verse number="30">දෙවි තුමාණෝ විදුලි එළිය අහස පුරා විහිදුවන සේක; එහෙත්, මුහුදේ පතුල අඳුරෙහි තබන සේක.</verse>
				<verse number="31">වැසි වස්වා, ජනතාවට ආහාර සපයා, එතුමාණෝ විපුල ලෙසින් කෑම බීම උපයා දෙන සේක.</verse>
				<verse number="32">දෙවි තුමාණෝ විදුලිය අතින් ගෙන, නියම ඉලක්කය බලා යන්නට එයට අණ දෙන සේක,</verse>
				<verse number="33">අහස් ගිගුරුම, කුණාටුව එන බව කලින් දන්වන සේක. එය එන බව ගව රැළ දනිති.”</verse>
			</chapter>
			<chapter number="37">
				<verse number="1">“චණ්ඩ මාරුත නිසා මහද සැලී දැඩි ලෙස වෙවුළයි.</verse>
				<verse number="2">ඔබ හැම එතුමාණන්ගේ ගිගුරුම් හඬටත්, එතුමාණන් මුවින් නික්මෙන ගර්ජනාවටත් හොඳින් සවන් දෙන්න.</verse>
				<verse number="3">එතුමාණෝ ඒ හඬ අහස පුරා විහිදුවන සේක; විදුලිය පොළොවේ සීමාන්ත දක්වා පතුරුවන සේක.</verse>
				<verse number="4">එවිට එතුමාණන්ගේ ගිගුරුම් හඬ ද ප්‍රතාපවත් ගර්ජනා හඬ ද දිගට ම ඇසේ. විදුලිය නොනැවතී දිගට යයි.</verse>
				<verse number="5">දෙවිඳුන්ගේ හඬ පුදුම ලෙස ගිගුරුම් දෙයි; අපට තේරුම් ගත නොහැකි අරුමපුදුම දේ සිදු වෙයි.</verse>
				<verse number="6">මිහි මත හිම පතනය වන ලෙස ද මොරසූරන වැස්ස වහින ලෙස ද එතුමාණෝ අණ දෙන සේක.</verse>
				<verse number="7">සියල්ල එතුමාණන්ගේ ක්‍රියා බව සියලු මිනිසුන් දැනගන්න පිණිස සෑම ක්‍රියාවකට ම එතුමාණෝ මුද්‍රාව තබන සේක.</verse>
				<verse number="8">එකල මෘගයෝ ගුහාවලට වදිති. එහි සුරක්ෂිත ව ලගිති.</verse>
				<verse number="9">දකුණු දිශාවෙන් සුළි සුළඟ ද උතුරු දිශාවෙන් තද ශීත ද හමා එයි.</verse>
				<verse number="10">දෙවිඳුන්ගේ හුස්මෙන් වතුර මිදෙයි; ඒවා තද අයිස් කැටිවලට හැරෙයි.</verse>
				<verse number="11">එතුමාණෝ දියෙන් බර වැහි වලාකුළු එවන සේක. වලාකුළු මැදින් විදුලිය පැතිර යයි.</verse>
				<verse number="12">දේව ආඥා අනුව විදුලිය කොටනු ඇත. දේව අදහස අනුව ලොව පුරා විදුලිය දුවයි.</verse>
				<verse number="13">දඬුවමක් වශයෙන් හෝ පොළොව සරුසාර වන පිණිස හෝ දිව්‍ය කරුණාවේ ලකුණක් වශයෙන් හෝ මේ සියල්ල සිදු වෙයි.</verse>
				<verse number="14">ජෝබ්, මඳක් නවතින්න, මේ අසන්න. දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා ගැන කල්පනා කරන්න.</verse>
				<verse number="15">දෙවිඳාණන් අණ දී වලාකුළු අතරින් විදුලිය බැබළෙන්නට සලස්වන්නේ කෙසේ දැ යි ඔබ දන්නෙහි ද?</verse>
				<verse number="16">සර්ව ප්‍රඥාවෙන් යුත් දෙවිඳුන්ගේ විස්මයජනක මැවිලි වන වලාකුළු අහසේ පාවෙන හැටි ඔබ දන්නෙහි ද?</verse>
				<verse number="17">දකුණු දෙසින් හමන සුළඟ නැවතුණ කල, ඔබේ ඇඟට රස්නය එන්නේ කෙසේ දැ යි ඔබ දන්නෙහි ද?</verse>
				<verse number="18">අහස ලෝහමය තලයක් මෙන් සවි ඇති දෙයක් කිරීමට දෙවිඳුන්ට මෙන් ඔබටත් හැකි ද?</verse>
				<verse number="19">අප දෙවිඳුන්ට කිය යුතු දෙය ඔබ අපට උගන්වන්න; අපේ බුද්ධිය අඳුරු ය; එතුමන්ට කියන්නට අපට කිසි දෙයක් නැත.</verse>
				<verse number="20">‘කතා කරන්නට මට ඉඩ දෙන්නැ’යි මා කියන්නේ කොහොම ද? මිනිසෙකු වන මා නාස්ති කිරීමට එතුමාණන්ට මා ඉඩ දෙන්නේ මන් ද?</verse>
				<verse number="21">සුළඟ හමා අහස පිවිතුරු වී ඇත. ඇස් නිලංකාර කරන ආලෝකය විහිදී බැබළෙයි. මේ දෙනෙතින් එය බැලිය නොහැකි ය.</verse>
				<verse number="22">උතුරුදිග රන්වන් කාන්තිය විහිදී ඇත. දෙවිඳුන්ගේ මහිමය අප තුළ බිය දනවයි.</verse>
				<verse number="23">දෙවිඳුන්ගේ මහානුභාවය අචින්ත්‍ය ය, බලපරාක්‍රමයෙන් ද යුක්තියෙන් ද දැහැමිකමෙන් ද එතුමාණෝ උත්තරීතර ය. එතුමාණන්ට ළඟා වීමට අපට නොහැකි ය.</verse>
				<verse number="24">එබැවින් මනුෂ්‍යයෝ එතුමාණන්ට බිය වෙති. ‘අපි පැණවත්හු ය’යි සිතන්නවුන් එතුමාණෝ නොසලකන සේක.”</verse>
			</chapter>
			<chapter number="38">
				<verse number="1">එවිට දෙවිඳාණෝ කුණාටුව මැදින් ජෝබ්ට මෙසේ පිළිතුරු දුන් සේක;</verse>
				<verse number="2">“අනුවණ බස් තෙපලා මාගේ පැණවත් අරමුණු අඳුරු කරන, මොහු කවරෙක් ද?</verse>
				<verse number="3">එඩිතර ව මිනිසෙකු මෙන් නැඟිට සිට මාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙව.</verse>
				<verse number="4">මා මහ පොළොවේ පදනම් දමන විට නුඹ කොතැන සිටියෙහි ද?</verse>
				<verse number="5">එතරම් දැනුම ඇත්නම්, කියව, එහි දිග පළල තීරණය කළෝ කවුරු ද? ඒ මත රේඛා ලණුව ඇද්දේ කවරෙක් ද? දන්නෙහි නම් කියව.</verse>
				<verse number="6">එය දරා සිටින මහ කුළුණු රඳා ඇත්තේ කුමක් පිට ද? එහි මුල් ගල තැබුවේ කවරෙක් ද?</verse>
				<verse number="7">ඒ අරුණෝදයෙහි පහන්තරු ගී ගැයී ය. සියලු දෙවි පුත්හු තුති ගොස නැඟුවා හ.</verse>
				<verse number="8">පොළෝ ගැබින් මහ මුහුද බිහි වූ විට දොරටු වසා මුහුදු ජලය නැවැත්වූයේ කවරෙක් ද?</verse>
				<verse number="9">
					මහ මුහුද වලාකුළුවලින් පළඳා, අඳුර නමැති සළුව පෙරවූයේ මම ය.
				</verse>
				<verse number="10">මුහුදේ මායිම් නියම කෙළේත්, එහි දොර අගුල් තැබුවේත් මම ය.</verse>
				<verse number="11">‘මේ දක්වා එන්නෙහි ය; මින් එහා නොයන්නෙහි ය; නුඹේ එඩිතර රළ පතර මෙහි නවතින්නේ ය’ කියා කීවේත් මම ය.</verse>
				<verse number="12">ජෝබ්, නුඹ උපන් දින සිට කිසි ම දාක අලුත් දිනක් උදා වන්නට නුඹ අණ දුන්නෙහි ද?</verse>
				<verse number="13">පොළොව පුරා අරුණෝදය නැඟී එන්නටත්, දුදනන් මිහි පිටින් පැන්නීමටත් නුඹ ආඥාවක් පැණවූයෙහි ද?</verse>
				<verse number="14">හිරු උදාව, කඳු හා නිම්න මතු කරයි; ඒවා මැටිවල තබන ලද මුද්‍රාව මෙන් ද ඇඳුමක රැළි මෙන් ද කැපී පෙනෙයි.</verse>
				<verse number="15">දවල් එළිය දුදනන්ට දැරිය නොහැකි තරම් දීප්තිමත් ය. එය ඔවුන්ගේ සැහැසිකම් වළක්වාලයි.</verse>
				<verse number="16">නුඹ මුහුදේ උල්පත්වලට ළං වූයෙහි ද? මුහුදු පත්ලේ යා ගත නොහැකි පෙදෙස්වල ඇවිද්දෙහි ද?</verse>
				<verse number="17">මරහුගේ ලොවට පිවිසෙන දොරටු නුඹට පෙන්වා ඇත්තේ ද? අඳුරු ලොවේ මුර දොරටු කවදාවත් නුඹ දුටුවෙහි ද?</verse>
				<verse number="18">මහ පොළොව කොතරම් විසල් දැ යි නුඹ මඳක් වත් දන්නෙහි ද? දන්නෙහි නම් මට කියව.</verse>
				<verse number="19">ආලෝකය එන්නේ කෙහෙන් දැ යි, අඳුර බිහි වන්නේ කොහේ දැ යි නුඹ දන්නෙහි ද?</verse>
				<verse number="20">නුඹට ඒවායේ නියම ස්ථානවලට මඟ පෙන්විය හැකි ද? නුඹට ඒවායේ නිවෙස්වලට ඒවා ගෙන ගිය හැකි ද?</verse>
				<verse number="21">නුඹ මෙපමණ දිගායු වළඳා සිටින බැවින්, විශ්වය මැවෙන්නට පෙර නුඹ ජීවත් වී සිටි හෙයින් ඔය කොයි දේත් නුඹට කළ හැකි නොවේ ද?</verse>
				<verse number="22">ම විසින් හිම හා ගල් වැහි තැන්පත් කරනු ලැබ ඇති ගබඩාවලට නුඹ කවදාවත් ගොස් තිබේ ද?</verse>
				<verse number="23">ඒවා විපත හා යුද කෝලාහල ඇති වන කාලය සඳහා සූදානම් කොට තබා ඇත.</verse>
				<verse number="24">හිරු උදා වන ස්ථානයටත්, පෙරදිග සුළං පටන්ගන්න ස්ථානයටත් නුඹ ගොස් තිබේ ද?</verse>
				<verse number="25">කඩා වැටෙන වර්ෂාවට දිය අගලක් කැපුවේ කවරෙක් ද? අකුණු කොටන අහස් තලයට මං පෑදුවේ කවරෙක් ද?</verse>
				<verse number="26">මිනිසුන් නැති දේශයකට, කිසිවෙකු නැති මරුකතරකට වැසි වස්වන්නේ කවරෙක් ද?</verse>
				<verse number="27">නිල් තණකොළ වැවෙන ලෙසට වියළි පොළොව නිලෙන් වසන්නට ජලය සපයන්නේ කවරෙක් ද?</verse>
				<verse number="28">වහින වලාවට, වැටෙන පින්නට පියෙක් නැද් ද?</verse>
				<verse number="29">වතුර ගල් කොට, මුහුදු ජලය මිදෙන්නට සලස්වන්නේ කවරෙක් ද?</verse>
				<verse number="30">හිම කැට හා අහසේ තුෂාර තම කුසින් ජනිත කරවන මාතාව කවරෙක් ද?</verse>
				<verse number="31">
					හත්දින්නේ තරු වැළ බැඳ තබන්නට හෝ මුව සිරසේ බඳ පටිය ලිහන්නට හෝ නුඹට හැකි ද?
				</verse>
				<verse number="32">නියම කලට ග්‍රහ රාශි චක්‍ර ලග්නවල පිහිටුවන්නට නුඹට හැකි ද? මහ වලසා සහ කුඩා වලසා නම් තරු වැල් හසුරුවන්නට නුඹට හැකි ද?</verse>
				<verse number="33">අහසේ නක්ෂස්ත්‍ර නීති නුඹ දන්නෙහි ද? පොළොව කෙරෙහි ඒවායේ බලපෑම නුඹට නියම කළ හැකි ද?</verse>
				<verse number="34">මහ වැසි දහරින් නුඹ තෙමාලන්නට වලාකුළුවලට අණ දීමට නුඹට හැකි ද?</verse>
				<verse number="35">විදුලි කොටන ලෙස එයට අණ දුන්නහොත් ‘හොඳ ම යි මම සූදානම් ය’යි එය නුඹට කියනු ඇද් ද?</verse>
				<verse number="36">නයිල් ගඟේ වතුර ගලන්නේ කවදා දැ යි කීමට, අයිබිස් පක්ෂියාට ඉගැන්නුවේත්, වැසි වස්නා දිනය කවදා දැ යි කීමට, කුකුළාට ඉගැන්නුවේත්, කවරෙක් ද?</verse>
				<verse number="37">ප්‍රඥාවෙන් වළාකුල් ගනින්ට කාට පුළුවන් ද? අහසේ භාජනවලින් දිය වගුරුවන්ට කාට පුළුවන් ද?</verse>
				<verse number="38">වැසි වැස්වීමෙන් දූවිලි දැඩි කොට පස් පිඬලි සකස් කරන්නේ කවරෙක් ද?</verse>
				<verse number="39">නුඹ සිංහ ධේනුවට ගොදුරු දඩයම් කර දෙන්නෙහි ද? තරුණ සිංහ රාජයන් උන්ගේ ගුහාවල ලැග, වනයේ සැඟවී බලා සිටින විට, නුඹ උන්ගේ සාගින්න නිවන්නෙහි ද?</verse>
				<verse number="40">***</verse>
				<verse number="41">කපුටුවන් සාගින්නෙන් ඔබමොබ පියාඹන විට, උන්ගේ පැටවුන් කෑම ඉල්ලා දෙවිඳුන්ට කෑ ගසන විට උන්ට කෑම සපයන්නේ කවරෙක් ද?</verse>
			</chapter>
			<chapter number="39">
				<verse number="1">“පර්වතවල සිටින වල් එළුවන් පැටව් ගසන කාලය නුඹ දන්නෙහි ද? නොහොත් මුව දෙනුන්ගේ ප්‍රසූත වේලාව නුඹට දැනගත හැකි ද?</verse>
				<verse number="2">උන් ගැබ් ගෙන සිටින මාස ගණන් කරන්නට නුඹට පුළුවන් ද? උන් පැටව් ගසන කාලය නුඹ දන්නෙහි ද?</verse>
				<verse number="3">උන් නැඹුරු වී පැටවුන් බිහි කොට විළි රුදා පහ කරගන්න කාලය නුඹ දන්නෙහි ද?</verse>
				<verse number="4">උන්ගේ පැටව් වනයේ වැඩී, ලොකු වී, ශක්තිමත් වී පිට වී යති. යළි ආපසු නොඑති.</verse>
				<verse number="5">වල් කොටළුවාට නිදහස දානය කෙළේත්, උගේ බැඳුම් ලිහා මුදා හැරියේත් කවරෙක් ද?</verse>
				<verse number="6">මම පාළුකරය ඌට ගෙයක් කොට, ලේවාය ඌට තිප්පලක් කොට නියම කෙළෙමි.</verse>
				<verse number="7">ඌ නගරයේ ඝෝෂාව ගණන් නොගනියි. ඌ රියැදුරාගේ කෑගැසීම නොසලකයි.</verse>
				<verse number="8">කඳුකරය උගේ ගොදුරු බිම වේ; කෑම පිණිස ඌ හැම පලා ජාති සොයා යයි.</verse>
				<verse number="9">කුළු හරකා නුඹට වැඩ කරන්නට කැමැති වේ ද? ඌ රැයෙහි නුඹේ ගාලෙහි ලගිනු ඇද් ද?</verse>
				<verse number="10">කුළු හරකා ලණුවකින් හීවිටේ බඳින්නට නුඹට හැකි ද? නොහොත් නුඹට පිටුපසින් ඌ කුඹුර පෝරු ගානු ඇද් ද?</verse>
				<verse number="11">උගේ ශක්තිය මහත් බැවින්, නුඹ ඌ විශ්වාස කර, නුඹේ බර වැඩ ඌට බාර දෙන්නෙහි ද?</verse>
				<verse number="12">නුඹේ අස්වැන්න කමතට රැස්කර ගෙනෙනු ඇතැ යි නුඹ ඌ කෙරෙහි විශ්වාසයක් තබන්නෙහි ද?</verse>
				<verse number="13">පැස්බරාගේ පියාපත් වැනෙන වේගය කදිමයි. එහෙත්, පැස්බරාට කණ කොකා මෙන් පියාඹන්නට නොහැකි ය.</verse>
				<verse number="14">ඌ පොළොවෙහි බිජු දමා, පසෙහි තාපයෙන් ඒවා උණුසුම් වීමට තබයි.</verse>
				<verse number="15">එහෙත්, ඒවා පයට පෑගෙන්නටත්, වන සතුන්ගේ පාදවලට පොඩි වන්නටත් පුළුවන් බව අමතක කරයි.</verse>
				<verse number="16">උගේ පැටවුන් ඌට අයිති නැතිවාක් මෙන් ඌ දැඩි සිතින් උන්ට සලකයි. උගේ මහන්සිය නිෂ්ඵල වුව ද, එය ගණන් ගන්නේ නැත.</verse>
				<verse number="17">දෙවිඳාණෝ උගෙන් ප්‍රඥාව වළක්වා, ඌට නැණ නුවණ නො දී හැරිය සේක.</verse>
				<verse number="18">ඌ පියාපත් විදහා දුවන කල ඌ අසුටත්, අසරුවාටත් සිනාසෙයි.</verse>
				<verse number="19">ජෝබ්, අසුට වෙර වීරිය දුන්නේ නුඹ ද? ලෙල දෙන කෙසරු උගේ ගෙලෙහි පැළඳෙව්වේ නුඹ ද?</verse>
				<verse number="20">උගේ හේෂාරවයෙන් මිනිසුන් බියගන්වා, පළඟැටියෙකු මෙන් පැන පැන යන්න ඌට සැලැස්සුවේ නුඹ ද?</verse>
				<verse number="21">ඌ මිටියාවතෙහි කුර ගසා, ශක්තියෙන් ඔද වැඩී දුවමින් යුද සේනාවලට මුහුණ දෙයි.</verse>
				<verse number="22">ඌ භීතියට සරදම් කොට තැති නොගෙන සිටියි. කඩුපතට පිටුපා නොයයි.</verse>
				<verse number="23">හී කොපුව ද දිළිසෙන හෙල්ලය ද කුඩා හෙල්ලය ද උගේ ඇඟේ වැදී දෝංකාර දෙයි.</verse>
				<verse number="24">උද්‍යෝගයෙන් කම්පිත ව</verse>
				<verse number="25">ඌ වේගයෙන් දුවයි. පැතිරී යන හොරණෑ හඬ ඇසෙන විට, ඌට නිසල ව සිටිය නොහැකි ය. ඒ ඒ හොරණෑ හඬට ඌ සතුටු හඬ නඟයි. සටන ද සෙනෙවියන් අණ දෙන හඬ ද ඌ ඉව අල්ලා දුර දී ම දැන ගනියි.</verse>
				<verse number="26">උකුස්සා අහසට නැගී දකුණු දෙසට පියාපත් විදහා යන්නේ නුඹේ නුවණින් ද?</verse>
				<verse number="27">රාජාලියා අහසට පියඹා උගේ කැදැල්ල උස් තැනක සාදන්නේ නුඹේ අණ පිට ද?</verse>
				<verse number="28">ඌ උස් පර්වත මත වසයි. ගිරිකුළු මුදුන්වල කැදැල්ල සාදයි.</verse>
				<verse number="29">එහි සිට ඈත මෑත බලා, දුර දක්නා දෙනෙතින් ඌ ගොදුරු සොයා ගනියි.</verse>
				<verse number="30">
					මළසිරුර කොතන ද රාජාලියා එතැන ය.
					උගේ පැටව් එහි ලේ උරා බොති.”
				</verse>
			</chapter>
			<chapter number="40">
				<verse number="1">තවද, දෙවිඳාණෝ ජෝබ්ට පිළිතුරු දෙමින්,</verse>
				<verse number="2">“ජෝබ්, නුඹ සව් බලැති දෙවිඳුන්ට අභියෝග කෙළෙහි ය: දැන්වත් නුඹ එය අත්හරින්නෙහි ද? නැතහොත් එයට පිළිතුරු දෙන්නෙහි දැ”යි වදාළ සේක.</verse>
				<verse number="3">එවිට ජෝබ් පිළිතුරු දෙමින් මෙසේ කී ය:</verse>
				<verse number="4">“සමිඳුනි, මම අනුවණ ලෙස කතා කෙළෙමි. ඔබට කුමන පිළිතුරක් දෙන්නෙම් ද? මම කට පියා නිහඬ වන්නෙමි.</verse>
				<verse number="5">මම එක් වරක්, කතා කෙළෙමි; පිළිතුරු නොදෙමි. මම දෙවරක් කතා කෙළෙමි. ඉන්පසු කතා නොකරමි.”</verse>
				<verse number="6">එවිට දෙවි තුමාණෝ සැඬ සුළඟෙහි වැඩ සිටිමින් මෙසේ පිළිතුරු දුන් සේක:</verse>
				<verse number="7">“ජෝබ්, මිනිසෙකු මෙන් එඩිතර ව නැඟිට මගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙව.</verse>
				<verse number="8">‘මා අසාධාරණ ය’යි තර්ක කොට, ‘නුඹ නිවැරදි ය’යි කියාගෙන නුඹ මට වරද තබන්නට උත්සාහ කරන්නෙහි ද?</verse>
				<verse number="9">නුඹ මා වාගේ ම බලසම්පන්න ද? මා වාගේ ම හඬ නඟා ගර්ජනා කරන්නට නුඹට හැකි ද?</verse>
				<verse number="10">හැකි නම්, ගෞරවයෙන් හා උදාරත්වයෙන් සැරසී, විභූතිය හා ශෝභාව පැළඳගෙන නැඟිට එන්න.</verse>
				<verse number="11">උඩඟු අය දෙස බලා, උදහස වගුරුවා ඔවුන් පහත හෙළ‍න්න.</verse>
				<verse number="12">දුදනන් දෙස නෙත් යොමා යටපත් කර, ඔවුන් වසන තැනෙහි ඔවුන් පොඩි කරදමන්න.</verse>
				<verse number="13">ඔවුන් හැම දෙන ධූලියෙහි වළලා, මළවුන්ගේ ලොවෙහි ඔවුන් බැඳ තබව.</verse>
				<verse number="14">මෙසේ කළොත්, නුඹේ බාහු බලයෙන් නුඹ ම ගැළවෙන්නට සමත් බැවින් මමත් නුඹ පසසන්නෙමි.</verse>
				<verse number="15">දැවැන්ත බෙහෙමොත් නම් සතා දෙස බලන්න. ඌ මැව්වේත් මම ය; නුඹ මැව්වේත් මම ය. ඌ ගොනෙකු මෙන් තණ කොළ කයි.</verse>
				<verse number="16">එහෙත්, උගේ තුනටියේ ශක්තිය ද බඩේ මස් ගොබවල බලය ද කල්පනාවට ගන්න.</verse>
				<verse number="17">කිහිරි ගසක් මෙන් උගේ වල්ගය කෙළින් වී සිටියි. උගේ ගාත්වල නහර ශක්තිමත් ය,</verse>
				<verse number="18">උගේ ඇටකටු ලෝකඩ වැනි ය; ඉල ඇට යකඩ පොලු වැනි ය.</verse>
				<verse number="19">දෙවිඳුන් මැවූ සතුන් අතර ඉහළ ම තැන ඌ අතේ ය. ඌ පරාජය කළ හැකි වනුයේ උගේ මැවුම්කාර දෙවි තුමන් හට පමණ ය.</verse>
				<verse number="20">සියලු වන සතුන්ගේ කෙළි මඬල වන කඳුවල ඌට අහර පිණිස තණ කොළ ඇත.</verse>
				<verse number="21">ඌ කටු පඳුරු යට බට පඳුරු හා වගුරු සෙවණෙහි ලගියි.</verse>
				<verse number="22">කටු පඳුරු ඌට සෙවණ දෙයි. දොළ අසබඩ බට ගස්වලින් ඌ වට වී ඇත.</verse>
				<verse number="23">ගං ඉවුරු තළා වතුර නැඟුණත්, ඌට බියක් නැත. කට දක්වා ගංවතුර ගැලුවත් ඌට කරදරයක් නැත.</verse>
				<verse number="24">කොක්කක් දමා ඌ අල්ලා ගන්නට වත් ඌට නාස් ලණුවක් දමන්නට වත් හැකි සමතෙක් ඇද් ද?</verse>
			</chapter>
			<chapter number="41">
				<verse number="1">
					ලෙවියාතන් නම් මුහුදු සර්පයා බිලී කටුවකින් අදින්නට වත්, උගේ දිව කඹයකින් බඳින්නට වත් නුඹට හැකි ද?
				</verse>
				<verse number="2">උගේ නාසයේ ලණු පටක් දමන්නට වත්, උගේ හක්ක උලකින් සිදුරු කරන්නට වත් නුඹට පුළුවන් ද?</verse>
				<verse number="3">ඌ නුඹට බොහෝ කන්නලව් කරනු ඇද් ද? නුඹෙන් දයානුකම්පාව අයැදිනු ඇද් ද?</verse>
				<verse number="4">සදහට ම ඌ නුඹට මෙහෙකරුවකු වන පිණිස, නුඹ සමඟ ගිවිසුමක් කරනු ඇද් ද?</verse>
				<verse number="5">සුරතල් පක්ෂියෙකු සමඟ මෙන් නුඹ ඌ සමඟ සෙල්ලම් කරනු ඇද් ද? නොහොත්, නුඹේ යුවතියන්ගේ විනෝදය පිණිස නුඹ ඌ බැඳ තබන්නෙහි ද?</verse>
				<verse number="6">වෙළෙඳ පොළේ ධීවරයන් ඌ ගැන කේවෙල් කරනු ඇද් ද? වෙළෙඳුන් අතර කපා බෙදාගනු ඇද් ද?</verse>
				<verse number="7">උගේ හම මස් හෙල්ලවලින් වත්, උගේ ඔළුව ඇවුළුම් බිලියකින් වත් සිදුරු කරන්නට නුඹට හැකි ද?</verse>
				<verse number="8">නුඹ ඌ සමඟ පොරබැදුවොත් ඒ සටනේ තරම සිතා බලනු; සිතා නිකම් සිටිනු.</verse>
				<verse number="9">අනේ! ලෙවියාතන් නම් තල්මහ දෙස බැලීමෙන් වැඩක් නැත. ඌ දුටු පමණින් මිනිසා ඇද වැටෙනු නියත ය.</verse>
				<verse number="10">ඌ ඇවිස්සීමට තරම් දිරිය ඇති කෙනෙක් නැත. ඌ සමඟ සටන් කරන්නට සමත් කවරෙක් ද?</verse>
				<verse number="11">ඌට පහර දී බේරෙන මිනිසා කවරෙක් ද? මේ මුළු දෙරණෙහි කවුරුත් නැත.</verse>
				<verse number="12">උගේ අවයව, ශූර භාවය හා අංග ලක්ෂණවල රම්‍යතාව ගැන නොකියා සිටින්නට මට නොහැකි ය.</verse>
				<verse number="13">උගේ පිට හම ගලවන්නට කාට හැකි වේ ද? උගේ යකඩ වැනි වැස්ම පසා කරගෙන යන්නේ කවරෙක් ද?</verse>
				<verse number="14">ඒසා භයංකාර දත් දෙපෙළින් යුතු උගේ හකු පාඩා දිගහරින්නට හැකි කාට ද?</verse>
				<verse number="15">පලිස් පිට පලිස්වලින් වැසීගත් උගේ පිට කළු ගල් මෙන් සවිය ඇත.</verse>
				<verse number="16">ඒවා අස්සට සුළඟ පවා නොවදින ලෙස ඒවා එකිනෙකට දැඩි ලෙස යා වී ඇත.</verse>
				<verse number="17">ඒවා එකිනෙකට ඇලී, වෙන් කළ නොහැකි ලෙස එකිනෙකට බද්ධ වී ඇත.</verse>
				<verse number="18">ඌ කිඹිසින විට එළියක් බබළයි. උදා වන හිරු මෙන් උගේ ඇස් බබළයි.</verse>
				<verse number="19">උගේ මුවින් ගිනි දලු නික්ම යයි. ගිනි පුපුරු ධාරා ගලා යයි.</verse>
				<verse number="20">උදුනේ නටන කල්දේරමකින් මෙන් ද දැවෙන පරඬැල් මෙන් ද උගේ නාස් පුඩුවලින් දුම් නඟියි.</verse>
				<verse number="21">උගේ හුස්මෙන් ගිනි අඟුරු නඟියි. ගිනි ජාලාවක් උගේ කටින් නික්මෙයි.</verse>
				<verse number="22">උගේ ගෙල අති බලසම්පන්න ය. ඌට මුණගැසෙන කවුරුත් බියෙන් ඇලළී යති.</verse>
				<verse number="23">උගේ හමේ රැළි එකට ඇලී ඇත. එය නොනැමෙන යකඩ මෙන් තද ව ඇත.</verse>
				<verse number="24">උගේ සිත ගලක් මෙන් ද යටි ඇඹරුම් ගල මෙන් ද තද ය.</verse>
				<verse number="25">ඌ නැඟිටින විට මහා වීරයෝ පවා බියට පත් වෙති. ඌ කඩා පනින විට ඔව්හු බියෙන් ඇලළී යති.</verse>
				<verse number="26">කඩුවෙන් වත්, හෙල්ලයෙන් වත්, කුඩා හෙල්ලයෙන් වත්, ඊතලයෙන් වත් පහර දී ඌට තුවාළ කළ නොහැකි ය.</verse>
				<verse number="27">යකඩ වුව ද ඌට පිදුරු වැනි ය. ලෝකඩ වුවත් දිරා ගිය ලීයක් වැනි ය.</verse>
				<verse number="28">ඊගස් පහරට ඌ පලා නොයයි. පටියෙන් ගසන ගල් ඌට පිදුරු මිටක් වැනි ය.</verse>
				<verse number="29">පොල්ලක් වුව ද ඌ පිදුරු කැබැල්ලක් මෙන් සලකයි. කුඩා හෙල්ලය ගසන විට ඌ සිනාසෙයි.</verse>
				<verse number="30">උගේ ඇඟේ කොරපොතු තියුණු පිඟන් කැබලි ගොඩක් වැනි ය. මඬින යන්ත්‍රයක් මෙන් ඌ මඩෙහි ඇදී යයි.</verse>
				<verse number="31">ඌ මුහුදු දිය කල්දේරමක වතුර මෙන් නටන්නට සලස්වයි. එය බුබුළු දම දමා නටන තෙල් බඳුනක් මෙන් කරයි.</verse>
				<verse number="32">ඌ යන මඟ ඌ පසුපස පැහැදිලි ව දිළිසෙයි. ඌ මුහුද සුදු පෙණ ගොඩකට හරවයි.</verse>
				<verse number="33">ඌට සම කළ හැකි සතෙක් මේ මුළු දෙරණෙහි නැත; ඌ භීතිය නොහඳුනන සත්ත්වයෙකි.</verse>
				<verse number="34">ඌ ඉතා ම අභිමානී සතුන් වුව ද හෙළා දකියි. වන සතුන්ගේ ලොවෙහි අගරජ ලෙස වැජඹෙයි.”</verse>
			</chapter>
			<chapter number="42">
				<verse number="1">එවිට ජෝබ්, හිමි තුමන් හට පිළිතුරු දෙමින්, මෙසේ කී ය.</verse>
				<verse number="2">“ඔබ සව් බලැති දෙවි තුමාණන් බවත්, ඔබට නොකළ හැකි කිසිත් නැති බවත්, මම දනිමි.</verse>
				<verse number="3">
					මා කතා කෙළේ, මට දැනුමක් නැති දේ ගැන ය.
					මට අචින්ත්‍ය වන, අනවබෝධ වන අසිරිමත් දේ ගැන ය.
				</verse>
				<verse number="4">
					ඔබ කතා කරන විට සවන් දෙන්නටත්, ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නටත් ඔබ මට අණ කළ සේක.
				</verse>
				<verse number="5">කලින් මා ඔබ ගැන කනින් අසා තිබුණේ ය. එහෙත්, දැන් මාගේ ම දෙනෙතින් මම ඔබ දැක ගතිමි.</verse>
				<verse number="6">එබැවින් මම මා ගැන ම ලජ්ජා වෙමි; දූවිල්ලෙහි හා අළුවල හිඳ පසුතැවී සිත් තැවෙමි.”</verse>
				<verse number="7">තවද, සමිඳාණන් වහන්සේ මේ වචන ජෝබ්ට වදාළ පසු උන් වහන්සේ තේමානීය එලිපස්ට කතා කොට, “මාගේ සේවකයා වන ජෝබ් මෙන් නුඹ සහ නුඹේ මිතුරන් දෙදෙනා මා ගැන ඇත්ත නොකී බැවින්, මාගේ උදහස නුඹලා කෙරේ ඇවිළී ඇත.</verse>
				<verse number="8">එබැවින් නුඹලා දවන යාග පූජාවක් ඔප්පු කරන පිණිස, ගොන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන මාගේ සේවකයා වන ජෝබ් වෙත යන්න. ඔහු නුඹලා වෙනුවෙන් අයැදුම් කරනු ඇත. එවිට නුඹලාගේ අඥානකම්වල හැටියට මා විසින් නුඹලාට දුර්විපාක නොදෙන පිණිස ඔහුගේ අයැදුම් පිළිගන්නෙමි. මාගේ සේවකයා වන ජෝබ් මෙන් නුඹලා මා ගැන ඇත්ත නොකීවහු ය”යි වදාළ සේක.</verse>
				<verse number="9">තේමානීය එලිපස් ද ෂුහිය බිල්දද් ද නයමාතීය ශෝපර් ද ගොස්, සමිඳාණන් වහන්සේ අණ කළ ලෙස කළහ. සමිඳාණන් වහන්සේ ජෝබ්ගේ ආයාචනය පිළිගත් සේක.</verse>
				<verse number="10">ජෝබ් සිය මිතුරන් උදෙසා යාච්ඤා කළ විට සමිඳාණන් වහන්සේ ඔහුගේ පෙර පැවති යස ඉසුරු දෙගුණ කොට යළි දුන් සේක.</verse>
				<verse number="11">ඔහුගේ සියලු සහෝදර සහෝදරියෝ ද පළමු ඔහු දැන හැඳින සිටි සියල්ලෝ ද ඔහු වෙත පැමිණ ඔහුගේ නිවසෙහි ඔහු සමඟ කෑම කා, සමිඳාණන් වහන්සේ ඔහුට පැමිණෙව් විපත්ති සමුදාය ගැන ශෝකය ප්‍රකාශ කොට ඔහු අස්වැසූ හ. ඔව්හු එකිනෙකා රිදී කාසියක් හා රන් මුද්දක් ඔහුට ත්‍යාගි කළහ.</verse>
				<verse number="12">මෙසේ සමිඳාණන් වහන්සේ ජෝබ්ගේ මුල් කාලයට වඩා අවසාන කාලයට ආශීර්වාද කළ සේක. බැටළුවන් දහහතර දහසක් ද ඔටුවන් හයදහසක් ද ගොන්බාන් දහසක් ද කොටළු දෙනුන් දහසක් ද ඔහුට සිටියෝ ය.</verse>
				<verse number="13">ඒ ඇර ඔහුට පුත්‍රයන් සත්දෙනෙක් ද දූවරු තුන්දෙනෙක් ද වූ හ.</verse>
				<verse number="14">ඔහු වැඩිමල් දුවට පාරාපතිනිය යන අර්ථය ඇති ජෙමිමා ද දෙ වැනි දුවට සුගන්ධනී යන අර්ථය ඇති කෙශියා ද තුන් වැනි දුවට සුලෝචනී යන අර්ථය ඇති කෙරෙන්-හප්පූක් ද කියා නම් තැබී ය.</verse>
				<verse number="15">ජෝබ්ගේ දූවරු තරම් සුරූපී කාන්තාවෝ ඒ මුළු රටෙහි ම නොසිටියහ. ඔවුන්ගේ පියා ඔවුන්ගේ සොහොයුරන් සමඟ ඔවුන්ට ද සම්පත් උරුම කොට දුන්නේ ය.</verse>
				<verse number="16">ඉන්පසු, කාලයාගේ ඇවෑමෙන් ජෝබ් එකසිය සතළිස් වසක් ජීවත් වී සතර වැනි පරපුර දක්වා දරු මුණුබුරන් දැක</verse>
				<verse number="17">දිගායු වළඳා මරණයට පත් වී ය.</verse>
			</chapter>
		</book>
		<book number="19">
			<chapter number="1">
				<verse number="1">දුදනන් උපදෙස් අනුව නොයන, පව්කරුවන්ගේ මඟ නොයන, දෙවිඳුන් ගරහන්නන් ඇසුරු නොකරන,</verse>
				<verse number="2">සමිඳුන්ගේ විනයෙහි ප්‍රීති ප්‍රමුදිත වන, දිවා රෑ එය භාවනා කරන මිනිසා භාග්‍යවන්තයෙක් වන්නේ ය.</verse>
				<verse number="3">
					ඔහු ඇල දොළ අද්දර සිටුවා ඇති, නියම කලට පල දරන, කොළ පර වී නොයන ගසකට සමාන ය;
					ඔහු කරන සැම දේ සරු සාර වේ.
				</verse>
				<verse number="4">පවිටු දනෝ එසේ නොවෙති; ඔව්හු සුළඟේ යන බොල් හා සමාන වන්නෝ ය.</verse>
				<verse number="5">විනිසය එන දා දුදනන්ට නම් වරද පැවරේ; දමිටුන් සමඟ ඔවුන්ට ගැවසුම් නැත්තේ ය.</verse>
				<verse number="6">දමිටුන් හට සමිඳාණෝ සරණ වන සේක. පවිටුන්ගේ මාර්ගය විනාශයට යන්නේ ය.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">ජාතීන් විප්ලවයට සැරසෙනුයේ මන් ද? ජනතාවන් නිස්සාර කුමන්ත්‍රණ කරනුයේ මන් ද?</verse>
				<verse number="2">සමිඳාණන්ට ද එතුමන්ගෙන් අබිසෙස් ලත් නිරිඳාණන්ට ද මහීපාලයෝ විරෝධී ව නැඟිට සිටින්නෝ ය; අධිපතිවරු එක් රැස් වී උපා යොදන්නෝ ය.</verse>
				<verse number="3">අප හිර කර ඇති විලංගු බිඳදමමින්, යදම් කඩාදමමින් ‘අපි නිදහස ලබමු’යි ඔව්හු පවසන්නෝ ය.</verse>
				<verse number="4">සගලොව සිහසුන් අරා වැඩ සිටින උත්තමයාණෝ සිනාසෙන සේක.</verse>
				<verse number="5">සමිඳාණෝ ඔවුන් හට පරිහාස කරන සේක; එකල උන් වහන්සේ කෝපයෙන් ඔවුන්ට තරවටු කරන සේක; උදහසින් ඔවුන්ට තර්ජන කරන සේක.</verse>
				<verse number="6">මාගේ ශුද්ධ සියොන් ගිර මත්තෙහි මා රජිඳු හට කිරුළු පළඳවා රජකම දුන්නෙමි.</verse>
				<verse number="7">
					මම මේ දේව නියෝගය ප්‍රකාශ කරන්නෙමි;
					එතුමාණෝ මට කතා කොට, “නුඹ මාගේ පුත් කුමරු ය, අද මම ඔබේ පිය රජ වූයෙමි.
				</verse>
				<verse number="8">නුඹ කැමැති දෙයක් මාගෙන් අයැදින්න. සකල ජාතීහු නුඹ උරුමය වන්නෝ ය; මුළු මහ පොළොව ද නුඹ සන්තක වන්නේ ය.</verse>
				<verse number="9">
					නුඹ දරදඬු පාලනයකින් ඔවුන් සිඳබිඳ, මැටි බඳුනක් සේ සුණු විසුණු කර ඇතැ”යි වදාරන සේක.
				</verse>
				<verse number="10">රජවරුනි! ඒ නිසා සිහි පරීක්ෂාකාරී ව සිටින්න. භූපතිවරුනි! මෙයින් ගුරුකම් සිතට ගන්න.</verse>
				<verse number="11">සමිඳුන් හට ගරුබියෙන් සේවය කරන්න;</verse>
				<verse number="12">බියෙන් ඇලළෙමින්, රජිඳුන් පා සිඹගන්න. නැතහොත් එතුමාණන් උදහසින් විගසින් ඔබ වැනසෙනු ඇත. මන්ද, එතුමන් උදහස වහා ඇවිලෙන්නේ ය. සමිඳුන් සරණ සොයා යන සියල්ලෝ ආසිරි ලබන්නෝ ය.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. සමිඳුනි, මට සතුරෝ ගණනින් බොහෝ වන්නෝ ය; මට විරුද්ධ වන්නෝ එන්න එන්න වැඩි වන්නෝ ය.</verse>
				<verse number="2">“දෙවි පිහිටක් ඔහුට නැතැ”යි මා ගැන කියන්නෝ වැඩි වැඩියෙන් නැඟී එන්නෝ ය.</verse>
				<verse number="3">සමිඳුනි, එහෙත් ඔබ මා අවට පලිහක් වැන්න. මා මහිමය ඔබ ය; ඔබ මා දිරි ගන්වන සේක.</verse>
				<verse number="4">මම සමිඳුන්ට හඬ නඟා මොරගසමි; එතුමාණෝ සිය ශුද්ධ කන්දේ සිට මට පිළිතුරු දෙන සේක.</verse>
				<verse number="5">මම වැදහෙව නිදාගනිමි; යළි අවදි වෙමි. මන්ද, සමිඳාණෝ මට රැකවරණය දෙන සේක.</verse>
				<verse number="6">දස දහසක් සතුරන් සිටියත් මා වට කොට, බිය සැක කිසිත් මාගේ සිතට නැත්තේ ය.</verse>
				<verse number="7">සමිඳුනි, වැඩිය මැනව; දෙවිඳුනි, මා මුදාලුව මැනව. මන්ද, ඔබ සතුරන්ගේ බල සිඳලන සේක; දුදනන්ගේ දළ බිඳලන සේක.</verse>
				<verse number="8">ජය සිරි එන්නේ සමිඳුන්ගෙන් ය. ආසිරි ඔබ සෙනඟ කෙරෙහි වේ වා!</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. මා රක්නා මාගේ දෙවිඳුනි, මේ යාදින්නට පිළිතුරු දුන මැනව. විපතේ දී ඔබ මා මිදූ සේක, මට කරුණාකර මේ යැදුමට සවන් දුන මැනව.</verse>
				<verse number="2">මිනිසුනි, ඔබ මට කොපමණ කල් හරසර වෙනුවට ගැරහුම් දෙන්නහු ද? නිෂ්ඵල දෙයට නැමී, මුසාවාදයට ඇදී යන්නහු ද?</verse>
				<verse number="3">සමිඳාණන් දැහැමි අය තමන්ට ම තෝරාගත් බව සිතට ගන්න. එතුමාණෝ මාගේ යැදුමට සවන් දෙන සේක.</verse>
				<verse number="4">
					බියෙන් ඇලළී ගියත් පාපයෙන් දුරු වන්න;
					සංසුන් සිතින් යහනට වී භාවනා කරන්න.
				</verse>
				<verse number="5">නියමිත පූජා සමිඳුන්ට පුදන්න; එතුමන් කෙරේ විශ්වාසය තබන්න.</verse>
				<verse number="6">“අපට ප්‍රීතිය පෙන්වන්නේ කවරෙක් දැ”යි බොහෝ දෙන කියති. සමිඳුනි, අප වෙත ඔබ කුළුණැස යොමු කළ මැනව.</verse>
				<verse number="7">ධන ධාන්‍ය, මිදිපැන් බහුල ව ඇති අයට වඩා, ඔබ මසිත ඉමිහිරි ප්‍රීතියෙන් පුරවා ඇත.</verse>
				<verse number="8">මම ශාන්ත සිතින් සැතපී, වහා නින්දට යමි. මන්ද, සමිඳුනි, ඔබ පමණක් මට සුරැකි ව විසීමට වර දෙන සේක.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. සමිඳුනි, මා යැදුමට සවන් දෙනු මැනව; මාගේ භාවනාව සැලකුව මැනව.</verse>
				<verse number="2">රජිඳුනි, මාගේ දෙවිඳුනි, ඔබ සරණ පතා මම එන්නෙමි. කරුණාවෙන් මා යැදුමට සවන් දෙනු මැනව.</verse>
				<verse number="3">සමිඳුනි, අලුයම මාගේ යැදුමට සවන් දෙනු මැනව; අරුණ’ලු එන කල පූජා පුද කොට ඔබ එන තුරු බලා සිටින්නෙමි.</verse>
				<verse number="4">ඔබ දුෂ්ටකමට ප්‍රිය කරන දෙවි කෙනෙක් නොවන සේක; ඔබ අබිමුව නපුරට ඉඩ නොතබන සේක.</verse>
				<verse number="5">අහංකාර අයට ඔබ අබිමුවෙහි තැනක් නැත්තේ ය. අපරාධකරුවන්ට ඔබ ද්වේෂ කරන සේක.</verse>
				<verse number="6">සමිඳාණෝ බොරු තෙපලන දන වනසන සේක; මිනීමරු කපටි අය පිළිකුල් කරන සේක.</verse>
				<verse number="7">මම ඔබ විපුල පෙම පෙරදැරි කොට ඔබ නිවෙසට පිවිසෙන්නෙමි; ගරුබිය පාමින් ශුද්ධ මැදුර අබිමුව නමදින්නෙමි.</verse>
				<verse number="8">සමිඳුනි, මට සතුරන් බොහෝ සිටින බැවින්, දැහැමි මඟ මා ගෙන ගිය මැනව; ගත යුතු මඟ මට පෙන්නුව මැනව.</verse>
				<verse number="9">
					මා සතුරන් පවසන දේ විශ්වාස කළ නොහැකි ය.
					ඔවුන්ගේ සිත දැඩි දුෂ්ටකමින් පිරී ඇත්තේ ය. ඔවුන්ගේ උගුර අමු සොහොනක් වැනි ය. ඔව්හු දිවෙන් ඉච්ඡා බස් දොඩන්නෝ ය.
				</verse>
				<verse number="10">දෙවිඳුනි, ඔවුන් නසා වනසා ලුව මැනව; ඔවුන්ගේ කූට උපායවලට ඔවුන් ම අසු කළ මැනව; ඔවුන්ගේ බොහෝ අපරාධ නිසා ඔවුන් දුරින් දුරු කළ මැනව. මන්ද, ඔව්හු ඔබට එරෙහි ව කැරලි ගැසුවෝ ය.</verse>
				<verse number="11">ඔබ සරණ යන්නෝ ප්‍රීතියෙන් පිනා යත් වා! ඔබ ඔවුන් රක්නා බැවින් ඔව්හු විපුල සතුටින් උදම් වෙත් වා! ඔබ නම ප්‍රිය කරන්නෝ ප්‍රීති ප්‍රමෝද වෙත් වා!</verse>
				<verse number="12">මන්ද ඔබ දමිටුන්ට ආසිරි දෙන සේක; සමිඳුනි, ඔබ පෙම පලිහක් මෙන් ඔවුන් වට කරන සේක.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. සමිඳුනි, ඔබ උදහසින් මට තරවටු නොකළ මැනව; දැඩි කෝපයෙන් දඬුවම් නුදුන මැනව.</verse>
				<verse number="2">සමිඳුනි, දුබල මට කරුණා කළ මැනව; මාගේ ඇටකටු පොඩි වී ඇත; මා සුව කළ මැනව.</verse>
				<verse number="3">මම මුළුමනින් ම කැළඹී සිටිමි; සමිඳුනි, ඔබ කොපමණ කල් පමා වන සේක් ද?</verse>
				<verse number="4">සමිඳුනි, යළි වැඩම කොට මරණින් මා ගළවාගන්න; ඔබ තිර පෙමින් දැන් මා මුදාලන්න.</verse>
				<verse number="5">මන්ද, මරණින් පසු ඔබ ගැන සිහිවීමක් නැත්තේ ය; පාතාලයේ ඔබ හට පැසසීමක් නැත්තේ ය.</verse>
				<verse number="6">මම සෝදුකින් වෑරී සිටිමි. හැම රැයක ම කඳුළු සැලීමෙන් යහන තෙත් වී ඇත; කඳුළු දහරින් කොට්ටය පෙඟී ඇත;</verse>
				<verse number="7">වැලපීමෙන් මාගේ දෙනෙත ඉදිමී ඇත; සතුරන් නිසා මා ඇස් අඳුරු වී ඇත.</verse>
				<verse number="8">
					සියලු පවිටුනි, මා වෙතින් යන්න;
					මන්ද, සමිඳාණෝ මා විලාප හඬ ඇසූ සේක.
				</verse>
				<verse number="9">සමිඳාණෝ මාගේ යාදිනි ඇසූ සේක; එතුමාණෝ මා යැදුම පිළිගන්න සේක.</verse>
				<verse number="10">මාගේ සියලු සතුරෝ පරාජය වී ලජ්ජාවට පැමිණෙත් වා! හදිසියෙන් ම වියවුල් වී ආපසු හැරී යත් වා!</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">බෙන්ජමීය කුෂ්ගේ වචන නිසා දාවිත් විසින් සමිඳුන්ට ගායනා කරන ලද කාව්‍යයකි. සමිඳුනි, මාගේ දෙවියෙනි, මා රැකවරණය ඔබ වෙත ම ය. ලුහුබැඳ එන රුපු කැලෙන් නිදහස් කොට මා මුදාලන්න.</verse>
				<verse number="2">නැතහොත්, ගළවන්නට බැරි තැනකට සිංහයෙකු මෙන්, ඔවුන් මා ඩැහැගෙන යනු ඇත; එහිදී මා කැබලි කොට මරා දමනු ඇත.</verse>
				<verse number="3">සමිඳුනි, මාගේ දෙවියෙනි, කෙනෙකුට යම් අයුක්තියක් මා කර ඇත්නම්,</verse>
				<verse number="4">මිතුරෙකු හට හොඳක් වෙනුවට නපුරක් කර ඇත්නම්, මට වරදක් කළ සතුරෙකු නිදහස් කර ඇරියෙම් නම්;</verse>
				<verse number="5">සතුරෝ මා ලුහුබැඳ අවුත් මා අල්ලාගනිත් වා! ඔව්හු මා කපා, කොටා මරත් වා! මාගේ මළකඳ දූවිල්ලෙහි දමත් වා!</verse>
				<verse number="6">සමිඳුනි, ඔබේ උදහසින් නැඟුටුණු මැනව; මාගේ එදිරිකාරයන්ගේ කෝපාග්නියට විරුද්ධ ව සිටිය මැනව; අවදි ව මට පිහිට වුව මැනව. ඔබේ නියමය යුක්තිය ඉටු කිරීම ය.</verse>
				<verse number="7">සව් ලෝ සත එක් රැස් ව ඔබ වට කර සිටිත් වා! ඉහළ අහසේ ඔවුන් මැද ඔබ සිහසුන් අරා වැඩ සිටින්න.</verse>
				<verse number="8">සමිඳාණෝ සව් සත හට යුක්තිය සලසා දෙන සේක. සමිඳුනි, මාගේ දැහැමිකමත්, අහිංසකකමත් අනුව මා විනිශ්චය කළ මැනව.</verse>
				<verse number="9">
					මිනිස් සිතෙහි සිතුම්පැතුම් විමසාලන, දැහැමිකමින් අගතැන් පත් දෙවි උතුමාණෙනි, අදමිටුකම් බිඳ දමන්න;
					දහම් රජය පිහිටුවන්න.
				</verse>
				<verse number="10">දෙවිඳාණෝ මට රැකවරණය දෙන පලිහ වන සේක; අවංක සිත් ඇතියන් හට පිළිසරණ වන සේක.</verse>
				<verse number="11">දෙවිඳාණෝ දැහැමි විනිසකරුවෙක් වන සේක; එහෙත් නිරතුරු ව උදහස් ව නොසිටින සේක.</verse>
				<verse number="12">පවිටු දනන් වැරදි මඟින් නොහැරෙන විට, දෙවිඳාණෝ සිය අසිපත තියුණු කරන සේක; දුනු දිය තැත්කවා සූදානම් කරන සේක.</verse>
				<verse number="13">මාරක අවි සකස් කරන සේක; ඊතල, ගිනි ඊතල කරන සේක.</verse>
				<verse number="14">එසේ වුව ද, නපුරු දනෝ නපුරුකම පිළිසිඳගනිති, අයුතුකම ගැබ් ගෙන සිටිති, මුසාවාදය ප්‍රසූත කරති.</verse>
				<verse number="15">ඔව්හු බිම තැනක ගැඹුරු වළක් හාරා තබති, කැපූ වළෙහි ඔව්හු ම වැටෙති.</verse>
				<verse number="16">ඔවුන් කළ නපුර ඔවුන් පිට ම ආපසු එයි, ඔවුන්ගේ ඒ දුෂ්ටකම ද ඔවුන්ට ම යළි පටිසන් දෙයි.</verse>
				<verse number="17">සමිඳුන්ගේ යුක්තිය ගැන මම තුති ගී ගයමි. අති උත්තම හිමි තුමන් හට තුති ගී පවසමි.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">සමිඳුනි, අපේ සමිඳුනි, ඔබේ නාමය ලෝ පුරා කොතරම් මහිමාන්විත වන්නේ ද? ඔබේ තේජෝ මහිමය සගලොවින් එපිට පිළිරැව් දෙන්නේ ය.</verse>
				<verse number="2">
					කිරි දරු බිළිඳු සිඟිති මුවින් ඔබ සතුරා ද පළිගන්නා ද නිහඬ කළ සේක.
					රුපු ඔද බිඳිමින් බලකොටුවක් ද ඉදි කළ සේක.
				</verse>
				<verse number="3">සිය’තින් ඔබ නිම කළ අහස් තලය ද ඔබ පිහිටෙවූ සඳ මඬල ද තරු වැල් ද මා නරඹන කල්හි,</verse>
				<verse number="4">
					මිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක් ද?
					මිනිසා ගැන සලකන්නට තරම් ඔහු සතු වටිනාකම කුමක් දැ යි මට සිතෙන්නේ ය.
				</verse>
				<verse number="5">එහෙත්, ඔබ මිනිසා මවා ඇත්තේ, දෙවිඳුන්ට පමණක් දෙ වැනි වන ලෙසින් ය. තෙද යස කිරුළක් ඔහු හිස පළඳන ලද්දේ ය.</verse>
				<verse number="6">
					ඔබ මැවූ හැම දේ ඔහුට යටත් කළ සේක.
					ඔබ ඔහු මුළු සක්වළට අධිපති කළ සේක.
				</verse>
				<verse number="7">ගව, බැටළු ආදී සතුන් ද වන සතුන් ද ඔහුට යටත් කළ සේක.</verse>
				<verse number="8">ආකාශ පක්ෂීන් හා මුහුදු මසුන් ද සත් සමුදුර හැම සතුන් ද කෙරේ අධිපතිකම මිනිසා හට පවරා දුන් සේක.</verse>
				<verse number="9">දෙවිඳුනි, අපේ සමිඳුනි, ඔබේ නාමය ලෝ පුරා කොතරම් මහිමාන්විත වන්නේ ද?</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. සමිඳුනි, හද පත්ලෙන් මම ඔබ හට තුති පුදමි; ඔබ කළ හැම අසිරිමත් ක්‍රියා පතුරා හරින්නෙමි;</verse>
				<verse number="2">ඔබ ගැන සිත සිතා කුල්මත් වී උදන් අනන්නෙමි; මහෝත්තමයාණෙනි, ඔබේ නම ප්‍රශස්ති ගීතයෙන් පසසන්නෙමි.</verse>
				<verse number="3">ඔබේ ආගමනය නරඹා සතුරෝ පසු බැස යති; පැකිළ වැටෙති, වැනසෙති.</verse>
				<verse number="4">සාධාරණ විනිසකරුනි, සිහසුන් අරා ඔබ වැඩ හිඳින සේක; මා ගැන නඩුව අසා මට යුක්තිය ඉටු කළ සේක.</verse>
				<verse number="5">ජාතීන්ට තරවටු කොට, අදමිටුවන් විනාශ කොට, ඔවුන්ගේ නම සදහට ම මකා හරින සේක.</verse>
				<verse number="6">සතුරන්ගේ නගර සුණු විසුණු කර ඇත. ඒවායේ නම්ගම් මතකයෙන් පහකර ඇත. ඔවුන් සදාකල් විනාශයට පැමිණෙවු සේක.</verse>
				<verse number="7">සමිඳාණෝ සිහසුන් අරා සදා වැඩ සිටින සේක; විනිසය පිණිස සිය සිහසුන පිහිටෙවු සේක.</verse>
				<verse number="8">එතුමාණෝ දැහැමිකමින් මුළු ලොව නඩු විසඳාලන සේක; ජාතීන් යුක්ති සහගත ලෙස විනිශ්චය කරන සේක.</verse>
				<verse number="9">සමිඳාණෝ පීඩිතයන් හට උස් බලකොටුවකි; විපත්ති සමයෙහි මහ බලකොටුවකි.</verse>
				<verse number="10">ඔබ පිළිගන්නෝ ඔබ විශ්වාස කරති. ඔබ සොයා එන්නන් ඔබ කිසි දා අත් නොහරින සේක.</verse>
				<verse number="11">සියොන් ගිරෙහි වැඩ වසන සමිඳුන් හට ගී ගයන්න; මුළු ලොව හැම ජාතීන්ට සමිඳුන් කළ දෙය පවසන්න.</verse>
				<verse number="12">දුක්ගැනවිලි ඇති කවරෙකු වත් එතුමාණෝ අමතක නොකරන සේක. වරද කරන කාටත් සමිඳුන්ගේ දඬුවම හිමි වේ.</verse>
				<verse number="13">සමිඳුනි, මට කරුණා කළ මැනව. සතුරන්ගෙන් වූ මාගේ දැඩි දුක සලකාලුව මැනව. මරු මුවෙන් මා වෙන් කරගත මැනව.</verse>
				<verse number="14">එවිට ඔබ මට දුන් සෙත් සිරි ගැන ජෙරුසලමේ සව් සත හට ජය තුති ගී පවසන්නෙමි.</verse>
				<verse number="15">විජාතීහු වළක් කපා එම වළෙහි වැටී සිටිති. එලෙස ම උගුලක් අටවා එම උගුලට අසු වී සිටිති.</verse>
				<verse number="16">සමිඳාණෝ යුක්තිය ඉටු කොට ප්‍රකාශ වූ සේක. කුදිටු දනෝ තමන් හෙළන උපා දැලේ පැටලී සිටිති.</verse>
				<verse number="17">දුදනන්ගේ ඉරණම පාතාලය වේ; දෙවිඳුන් අමතක කරන ජාතීන්ටත් එසේ ම වේ.</verse>
				<verse number="18">දිළිඳා හැම දා අමතක නොවනු ඇත. පීඩිත අයගේ පැතුමත් සදහට ම යටපත් නොවනු ඇත.</verse>
				<verse number="19">වඩිනු මැනව සමිඳුනි, ඔබට එරෙහි ව නැඟිටින්නට මිනිසාට ඉඩ නුදුන මැනව. ජාතීහු ඔබ අබිමුව විනිශ්චය කරනු ලබත් වා!</verse>
				<verse number="20">සමිඳුනි, ඔවුන් භීතියෙන් ඇලළී යන්නට සැලසුව මැනව. ජාතීන් මැරෙන සුලු අය පමණක් බව දැනගන්නට සැලසුව මැනව.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">සමිඳුනි, ඔබ ඈත් වී සිටින්නේ මන් ද? විපත් සමයේ කුමට සැඟවී සිටින සේක් ද?</verse>
				<verse number="2">අහංකාර පවිටු දනෝ දිළිඳුන් හට පීඩා කරති; එබැවින් තමන් අටවන උගුල්වල තුමූ ම අසුවෙති.</verse>
				<verse number="3">දුදනන්ගේ පාරට්ටුව තමන් ගැන ම වෙයි. මසුරු දනෝ සමිඳුන්ට නිගා කරති, එතුමන් හෙළා දකිති.</verse>
				<verse number="4">දුදනා උඩඟුකම නිසා දෙවිඳුන් සොයා නොයයි. ‘දෙවි කෙනෙක් ලොවේ නැත’ යනු ඔහුගේ නිගමනය යි.</verse>
				<verse number="5">ඒ මිනිසා සැම විට ම සව් ඉසුරෙන් වැජඹෙනු ඇත. ඉහළින් එන දෙව් නියමය ගැන නම් කිසි දැනුමක් ඔහුට නැත. සිය සතුරන්ට ඔහු නිගා කරයි.</verse>
				<verse number="6">ඔහු තමා හට මෙසේ කියාගනියි: “නොවැටෙමි මම කවදාවත්; කිසි විපතක් නැත මා හට.”</verse>
				<verse number="7">
					සාපයෙන්, රැවටිල්ලෙන්, සැහැසිකමෙන් ඔහුගේ මුව පිරී තිබේ.
					නපුර සමඟ අයුක්තිය ඔහුගේ දිවග ලෙල දෙයි.
				</verse>
				<verse number="8">ගම්මානයේ සැඟවී සිට ඔහු නිදොස් අය කපා කොටයි; පිහිටක් නැති අසරණයින් එන තුරු ඔහු මාන බලයි.</verse>
				<verse number="9">ගුහාවේ නිදන සිහ රදකු මෙන් ඔහු ගොදුරු සොයා රහස් තැනක ලැග ඇත; දිළිඳු දනන් ඩැහැගනු ඇත; මරු දැල දා ඇදගනු ඇත.</verse>
				<verse number="10">සුදනා පහර ලබා, බිම වැටී, ගුළි ගැසී සිටියි; ඒ අසරණ අය දුදනන්ගේ අතට අසු වී සිටිති.</verse>
				<verse number="11">“දෙවිඳුන් මෙතන නැත; එතුමාණන් මුහුණ වසාගෙන ඇත. කිසි කලක එය නොදකිනු ඇතැ”යි ඔහු සිතින් සිතාගනියි.</verse>
				<verse number="12">සමිඳුනි, අවදි වන්න; ඔබ අත ඔසවා මුදාගන්න; දිළිඳු අය සිහි කරන්න.</verse>
				<verse number="13">දුෂ්ටයා දෙවිඳුන් හට නිගා කරන්නේ මන් ද? “ඔබ දඬුවම් නොදෙන සේකැ”යි ඔහු සිතින් කියාගන්නේ මන් ද?</verse>
				<verse number="14">ඔබ දුක් කරදර ගැන සලකන සේක; ඔබ උපකාර කරන්නට නිතර සූදානම් ය. අසරණයා සිය ජීවිතය ඔබට භාර දෙයි. ඔබ අනාථයාගේ ආධාරකරු වන සේක.</verse>
				<verse number="15">නපුරන්ගේ හා දුදනන්ගේ බලය සිඳ බිඳලන්න; කිසි නපුරක් ඉතිරි නොවන ලෙස ඔවුන්ට දඬුවම් කරන්න.</verse>
				<verse number="16">සදහට ම සමිඳාණෝ රජිඳාණෝ ය, එතුමන්ගේ විජිතයෙන් විජාතීන් වැනසෙනු ඇත.</verse>
				<verse number="17">සමිඳුනි, පීඩිතයන්ගේ විලාපයන්ට ඔබ සවන් දෙන සේක; ඔවුන්ට ඔබ දිරිය දෙන සේක.</verse>
				<verse number="18">මිහි පිට වසන මිනිසාගෙන් තවත් බියක් ඇති නොවන පරිදි, අනාථයා හා පීඩිතයා සාධාරණ ලෙස විනිශ්චය කළ මැනව.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. හිමි තුමන් වෙත රැකවරණය මට ඇත. එබැවින්, “පක්ෂියෙකු මෙන් කඳු යායට පියාඹන්නැ”යි ඔබ මට කියන්නේ කුමට ද?</verse>
				<verse number="2">අන්න බලන්න, නපුරු දනෝ දුන්න තැත්කවති; අඳුරේ සිට සුදනන් හට විදින පිණිස ඊතල දුනු දියෙහි යොදති.</verse>
				<verse number="3">පදනම් දෙදරා බිඳ වැටුණොත් දැහැමි අයට කර ගත හැකි දෙයක් වේ ද?</verse>
				<verse number="4">හිමි තුමාණෝ සිය ශුද්ධ මැදුරේ වැඩ වසන සේක. එතුමාණන්ගේ සිහසුන සගලොවෙහි ය. හිමි තුමාණෝ සියැසින් ලෝ සත විමසා බලන සේක.</verse>
				<verse number="5">සමිඳාණෝ සුදනන් හා දුදනන් හැම විමසා බලන සේක; එතුමාණෝ සැහැසිකම් කරන්නාට වෙර බඳින සේක;</verse>
				<verse number="6">දුදනන් මත ගිනි පුපුරු වස්වන සේක; ගෙන්දගම් දවා පුළුස්සන සුළඟ ද ඔවුන් හිස පිටට එවන සේක.</verse>
				<verse number="7">හිමි තුමාණෝ දැහැමි ය, ගුණ දහමට ප්‍රිය ඇත්තෙකි. දැහැමි අය එතුමන්ගේ මුහුණ දකින්නෝ ය.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. සමිඳුනි, පිහිට වුණ මැනව. සැදැහැවතුන් ඉතිරි ව නැත. විශ්වාසවන්තකම ලොවින් තුරන් වී ඇත.</verse>
				<verse number="2">මිනිසා මිනිසාට බොරු පවසයි; චාටු බසින් දෙසිත් ඇති ව කතා කරයි.</verse>
				<verse number="3">සමිඳුනි, ඔවුන්ගේ චාටු බස් නවත්වන්න; පුරසාරම් නැති කරන්න.</verse>
				<verse number="4">ඔව්හු මෙසේ උදන් අනති: “අප රිසි දෙය අපි කියමු; කුමට ද අප නිහඬ වන්නේ? කවුරු ද එය නවතන්නේ?”</verse>
				<verse number="5">අප සමිඳාණෝ මෙසේ වදාරති: “පිහිටක් නැති දිළිඳා තළාපෙළා දමන නිසා, ඒ දුක මට ඇසෙන නිසා, මම දැන් එහි වැඩම කරමි; ඔවුන් පතන රැකවරණය සලසා දෙමි.”</verse>
				<verse number="6">කෝවෙහි සත්වරක් දමා උණු කරන ලද රිදී මෙන් සමිඳුන් බස් සුපිරිසිදු ය.</verse>
				<verse number="7">සමිඳුනි, අප රැකගත මැනව; කුදිටු අනාචාරික පරපුරකින් අප නිරතුරු රැකගත මැනව.</verse>
				<verse number="8">පවිටු දනෝ ඔබමොබ යති. රට සැම දෙස දුසිරිත වැජඹෙයි.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. සමිඳුනි, කොතෙක් කලක් ඔබ මා අමතක කරන සේක් ද? සදහට ම ද? ඔබ මා හැර දමා අහක බලාගෙන සිටින සේක් ද?</verse>
				<verse number="2">සිත් වේදනාවෙන් තැවිතැවී කොපමණ කල් සිටින්න ද? දිවා රෑ සෝදුකින් පෙළිපෙළී කොපමණ කල් සිටින්න ද? මා සතුරෝ මට ඉහළින් කොපමණ කල් වැජඹෙන්නෝ ද?</verse>
				<verse number="3">දෙවි සමිඳුනි, මා සලකා මට පිළිතුරු දුන මැනව; මරණ නින්ද වළක්වන පිණිස මා දෙනෙතට එළිය දෙන්න.</verse>
				<verse number="4">එවිට නොහැක, මාගේ සතුරාට, “ඔහු පැරදුවෙමි”යි මා ගැන, කියන්නට; නොහැකි ය, මාගේ සතුරන්ට මාගේ වැටීම ගැන සිනාසෙන්නට.</verse>
				<verse number="5">ඔබේ තිර පෙමෙහි මම රඳා සිටිමි. ඔබ මා ගැළෙවු බැවින් මම ප්‍රීති වන්නෙමි.</verse>
				<verse number="6">සමිඳුන් දයා කරුණා පෑ බැවින් එතුමන් හට මම ගී ගයන්නෙමි.</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. “දෙවි කෙනෙක් නැතැ”යි අනුවණයෝ සිතින් සිතති. එවැනි අය අධම කුදිටු දේ ම කරති; යහපත කරන කිසිවෙක් ඔවුන් අතර තවත් නැත.</verse>
				<verse number="2">සමිඳාණෝ සුරලොව සිට බලන සේක; මිනිස් ලොවෙහි නැණවත් අය, දෙවිඳුන් වැඳ පුදන අය, ඇද්දැ යි විමසන සේක.</verse>
				<verse number="3">ඔවුන් සියල්ලන් ම මුළා ව ගොස් ඇත; සව් සත කෙලෙස් මලින් පිරී ඇත. හොඳක් කරන කිසිවෙක් නැත; ඇත්තට ම නැත.</verse>
				<verse number="4">කෑම කන්නාක් මෙන් මාගේ සෙනඟ කා දමන, මා හට අයැදුම් නොකරන, අදමිටු මේ අයට සිහි නුවණ නැද් ද?</verse>
				<verse number="5">දෙවි තුමන් තමන් කීකරු අයට ළං ව වැඩ වසන බැවින්, පවිටු දනෝ මහත් බියෙන් ඇලළී යති.</verse>
				<verse number="6">පවිටු දනෝ දිළිඳුන්ගේ සිතුම්පැතුම් ව්‍යර්ථ කරති. එහෙත්, සමිඳාණෝ ඔවුන්ගේ සරණ වන සේක.</verse>
				<verse number="7">සියොන් කන්දෙන් විමුක්තිය පැමිණියොත් කෙතරම් හොඳ ද? හිමි තුමන් සිය සෙනඟට සැප සම්පත දුන් විට, ජාකොබ් පෙළපතට කොපමණ ප්‍රීතියක් ද? ඉශ්රායෙල් සෙනඟට කොපමණ සතුටක් ද?</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. සමිඳුනි, ඔබේ දෙව් මැදුරෙහි කවරෙකුට සිටිය හැක්කේ ද? ඔබේ ශුද්ධ කන්දේ කවරෙකුට විසිය හැක්කේ ද?</verse>
				<verse number="2">නිදොස් ලෙස කල් යවන, දැහැමි ලෙස වැඩ කරන, අවංක වදන් පවසන තැනැත්තාට ය.</verse>
				<verse number="3">ගතු කේළාම් නොකියන, මිතුරාට නපුර නොකරන, අසල්වැසියාට එරෙහි ව කට කතා නොපතුරන තැනැත්තාට ය.</verse>
				<verse number="4">ඔහු දුදනන් පිළිකුල් කරන්නේ ය. සමිඳුන්ට ගරු කරන අයට ඔහු ගරුසරු පා, වාසි අවාසි නොතකා, සිය පොරොන්දු ඉටු කරයි.</verse>
				<verse number="5">ඔහු මුදල් පොළියට නොදෙයි; නිදොස් අයට විරුද්ධ ව අල්ලස් නොගන්නේ ය. මෙවන් ගුණැති මිනිසා හට පිරිහීමක් කිසි කලක නොවන්නේ ය.</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">දාවිත්ගේ මික්තාම් නම් කාව්‍යයකි. දෙවිඳුනි, මම ඔබ සරණකොට ගතිමි. එබැවින් මා රැකගත මැනව.</verse>
				<verse number="2">මම මෙසේ කීමි: “සමිඳුනි, ඔබ මාගේ සමිඳාණන් වහන්සේ ය, මාගේ සව් සම්පත ය. ඔබ හැර අන්කිසි සෙතක් මට නැත්තේ ය.”</verse>
				<verse number="3">මිහි මත වසන බැතිමත්හු උතුම් වන්නෝ ය; ඔවුන් පිළිබඳ විපුල සතුටක් මට ඇත්තේ ය.</verse>
				<verse number="4">අන් දෙවි පිහිටක් පතා දුවන අයගේ දුක බොහෝ වන්නේ ය. පානීය ලේ පූජා මම ඔවුන්ට නොපුදන්නෙමි; ඔවුන්ගේ නාම මා මුවින් නොපවසන්නෙමි.</verse>
				<verse number="5">සමිඳුනි, මාගේ උරුමය හා ඉරණම ඔබ වහන්සේ ය. ඔබ, ඔබ පමණක් ම මා උරුම කොටස රක්නා සේක.</verse>
				<verse number="6">මාගේ වතු පිටිවල සීමා රම්‍ය තැන්වල පිහිටා ඇත්තේ ය. මා සතු උරුමය ප්‍රියංකර ය.</verse>
				<verse number="7">මට උවදෙස් දෙන හිමි තුමන් හට තුති කරන්නෙමි. රෑ යාම්වල දී මා සිත්සතන්හි නුවණ පහළ වන්නේ ය.</verse>
				<verse number="8">
					හිමි තුමන් නිරතුරු මා අබියස තබාගන්නෙමි.
					මා දකුණු පස එතුමාණන් වැඩ වසන බැවින් මම නොසැලෙන්නෙමි.
				</verse>
				<verse number="9">එබැවින් මසිත උදන් අනයි; මහද ප්‍රීතියෙන් පිනා යන්නේ ය; මා ගත සුරැකි ව ඇත්තේ ය.</verse>
				<verse number="10">
					මන්ද, ඔබ මා පාතාලයෙහි නොරඳවන සේක;
					ඔබේ දැහැමි තැනැත්තාට ජරාපත් වීමට ඉඩ නොදෙන සේක.
				</verse>
				<verse number="11">ඔබ මට ජීවන මඟ හෙළි කරන සේක. ඔබ අබිමුවෙහි පිරිපුන් සතුට මට වන්නේ ය. ඔබ දකුණු පස සැප සම්පත් සදහට ම ඇත්තේ ය.</verse>
			</chapter>
			<chapter number="17">
				<verse number="1">දාවිත්ගේ යාච්ඤාවකි. සමිඳුනි, මාගේ මේ සාධාරණ යැදුමට සවන් දුන මැනව; මාගේ හඬගැසීමට කන් දුන මැනව. මන්ද, මා එය පුදන්නේ අවංක සිතිනි.</verse>
				<verse number="2">මා ගැන නඩු තීන්දුව ඔබෙන් ම පැමිණේ වා! ඔබේ දෙනෙතට යුක්තිය පෙනේ වා!</verse>
				<verse number="3">ඔබ මසිත උරගා බැලූ සේක; රාත්‍රියේ මා පරීක්ෂා කළ සේක; ඔබ මා විමසා බැලූ සේක; එහෙත්, කිසි නපුරක් නැති බව දුටු සේක.</verse>
				<verse number="4">අන් අය මෙන් මම නපුර කතා නොකෙළෙමි. ඔබේ නීති පිළිපැද්දෙමි; සැහැසි ක්‍රියා මාර්ගයෙන් වැළකී සිටියෙමි.</verse>
				<verse number="5">ඔබ පැවසූ දහම් මඟෙහි ගමන් කෙළෙමි. ඉන් ඉවත් ව මා ඉක්ම ගියේ නැත.</verse>
				<verse number="6">දෙවිඳුනි, ඔබ මට පිළිතුරු දෙන නිසා මම ඔබට හඬගසමි. මා අයැදුමට කන් යොමු කළ මැනව; මාගේ බස් ඇසුව මැනව.</verse>
				<verse number="7">මිදුම්කරුනි, ඔබේ දකුණු අතින් සතුරු බියෙන් අප ගළවනු මැනව; ඔබේ අසිරිමත් පෙම හෙළි කළ මැනව.</verse>
				<verse number="8">ඔබේ ම දෙනෙත රක්නා සේ මා රැකගන්න; ඔබ පියාපත් සෙවණෙහි සුරැකි ව මා සඟවන්න.</verse>
				<verse number="9">වෙර බැඳ මා අවටින් සිටින සතුරන්ගෙන් ද මා කොල්ලකන දුදනන්ගෙන් ද මා රැකගන්න.</verse>
				<verse number="10">මා සතුරන්ට දයාව නැත; ඔව්හු උඩඟුකමින් බස් තෙපලති.</verse>
				<verse number="11">මා වටකර සැම දෙසින් බලා සිටිති; මා බිම හෙළීමට මාන බලති.</verse>
				<verse number="12">ඔව්හු ගිජු ලෙස ගොදුර බලා යන සිංහයෙකුට සමාන ය; රහසිගත ව රැක සිටින තරුණ සිංහයෙකුට සමාන ය.</verse>
				<verse number="13">සමිඳුනි, නැඟිටිනු මැනව; මාගේ සතුරන්ට මූණ දී ඔවුන් පරාජය කළ මැනව; ඔබේ කඩුපත ලෙලවා දුදනන්ගෙන් මා මිදුව මැනව;</verse>
				<verse number="14">ඔබේ බලය පා ඔවුන්ගෙන් මා ගැළෙවුව මැනව. දුදනන්ගේ පල විපාක මෙලොව දී ම ඔවුන්ට ලැබෙනු ඇත. ඔවුන්ට නියම කොට ඇති දුක් පීඩාවලින් ඔවුන්ට දඬුවම් කළ මැනව; ඒ දඬුවම ඔවුන්ගේ දරුවන්ට ද ඉතිරි කොටස දරුවන්ගේ දරුවන්ට ද දුන මැනව.</verse>
				<verse number="15">මා දමිටු හෙයින් මම ඔබේ මුහුණ දකින්නෙමි; මා අවදි වන කල ඔබේ ස්වරූපය දැක සෑහීමට පත් වන්නෙමි.</verse>
			</chapter>
			<chapter number="18">
				<verse number="1">සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු, දාවිත්ගේ ගීතයකි. ඔහුගේ සියලු සතුරන්ගෙන් ද සාවුල් අතින් ද සමිඳාණන් වහන්සේ ඔහු මිදූ කල ඔහු මේ ගීතිකාවේ වචන සමිඳාණන් වහන්සේට කීවේ ය. මාගේ සවි ශක්තිය වන සමිඳුනි, මම ඔබට ප්‍රේම කරමි;</verse>
				<verse number="2">සමිඳාණෝ මාගේ පර්වතය ය; බලකොටුව ය; මිදුම්කාරයාණෝ ය. ඔබ මා දෙවිඳාණෝ ය; පර්වතය ය. මම ඔබ සරණකොට ගනිමි. ඔබ මට පලිහ ය; ගැළවීමේ බලය ය; උස් කොටු පවුර ය.</verse>
				<verse number="3">සියලු පැසසුම්වලට හිමිකම් ඇති සමිඳුනි, මම ඔබට අයැද සිටිමි. මෙසේ මාගේ සතුරන්ගෙන් මම ගැළවෙන්නෙමි.</verse>
				<verse number="4">මරහුගේ රැහැන් මා වෙළාගත්තේ ය; වනසන ජලධාරා මා ගිලගත්තේ ය;</verse>
				<verse number="5">පාතාල රැහැන් මා වෙළාගති; මරණයේ මලපත් මට අටවා තිබිණි.</verse>
				<verse number="6">මාගේ විපතේ දී සමිඳුන්ට අයැදීමි, මාගේ දෙවිඳුන්ට මොරගැසීමි. එතුමාණෝ සිය මාලිගාවේ සිට මා හඬට සවන් දුන් සේක. මා යාදිනි එතුමන් වෙත නැඟිණි.</verse>
				<verse number="7">එවිට මිහිකත සෙලවී කම්පා වූවා ය; කඳුවල පදනම් දෙදරා සෙලවුණේ ය; මන්ද, එතුමාණෝ උදහස් වූ සේක.</verse>
				<verse number="8">එතුමාණන්ගේ නාස්පුඩුවලින් දුම් වලා නැඟිණි; මුවින් අග්නි ජාලා නික්ම සියල්ල දවා දැමී ය.</verse>
				<verse number="9">එතුමාණෝ අහස නමාගෙන පහළ වූ සේක. එතුමන්ගේ පා යට ගන’ඳුර පැවතිණි.</verse>
				<verse number="10">එතුමාණෝ දිව්‍ය රථය අරා යාත්‍රා කළ සේක; මාරුතය නමැති පියාපත් විදහා වේගයෙන් වැඩිය සේක.</verse>
				<verse number="11">එතුමාණෝ අඳුර තමන්ට පොරෝනාවක් කරගත් සේක; වැහි වලා පටල තමන්ට මණ්ඩපයක් කරගත් සේක.</verse>
				<verse number="12">එතුමාණන් වෙත වූ උද්දීප්තියෙන් ඝන වලාකුළු ද ගල් වැසි හා ගිනි අඟුරු ද නික්මිණි.</verse>
				<verse number="13">සමිඳාණෝ අහස් කුසෙහි ගිගුරුම් දුන් සේක. මහෝත්තමයාණෝ සිය හඬ නික්මවූ සේක. එවිට ගල් වැසි හා ගිනි අඟුරු නික්මිණි.</verse>
				<verse number="14">එතුමාණෝ සිය ඊතල විද සතුරන් දස දෙස යැවූ සේක; විදුලි සැර එවා ඔවුන් පරාජය කළ සේක.</verse>
				<verse number="15">සමිඳුනි, ඔබේ තරවටු කිරීමෙන් ද ඔබේ නාසයේ හුස්මේ වේගයෙන් ද සත් සමුදුර හෙළි පෙහෙළි විය.</verse>
				<verse number="16">එතුමාණෝ ඉහළින් අත පොවා, මා අල්ලාගත් සේක; ගැඹුරු ජලධාරාවලින් මා ඇදගත් සේක.</verse>
				<verse number="17">එතුමාණෝ මාගේ බලවත් සතුරන්ගෙන් ද එදිරිකාරයන්ගෙන් ද මා මුදාගත් සේක. එසේ කෙළේ, ඔවුන් මට වඩා බලසම්පන්න බැවිනි.</verse>
				<verse number="18">මාගේ විපත්ති කාලයේ දී ඔව්හු මට විරුද්ධ ව නැඟී ආහ; එහෙත්, සමිඳාණෝ මට සරණ වූ සේක.</verse>
				<verse number="19">එතුමාණෝ ඉඩකඩ ඇති තැනකට මා ගෙනා සේක; මා කෙරේ ප්‍රිය මනාප වූයෙන් මා මිදූ සේක.</verse>
				<verse number="20">මාගේ දැහැමි ජීවිතය අනුව ද මාගේ ක්‍රියා සුපිරිසිදු වූයෙන් ද සමිඳාණෝ මට ප්‍රතිඵල දුන් සේක.</verse>
				<verse number="21">මම සමිඳාණන්ගේ මාර්ගවල ගමන් කෙළෙමි. මාගේ දෙවිඳුන් කෙරෙන් දුෂ්ට ලෙස වෙන් නොවීමි.</verse>
				<verse number="22">එතුමන්ගේ සියලු නියෝග මා ඉදිරියෙහි තබාගතිමි. එතුමන්ගේ ආඥා අත් නොහළෙමි.</verse>
				<verse number="23">මම එතුමන් අබිමුවෙහි නිදොස් ව සිටියෙමි; පවින් වැළකී සිටියෙමි.</verse>
				<verse number="24">එබැවින්, සමිඳාණෝ මාගේ දැහැමි ක්‍රියා අනුව, මාගේ පිරිසිදු පැවැත්ම අනුව මට ප්‍රතිඵල දුන් සේක.</verse>
				<verse number="25">පක්ෂපාත අයට ඔබ පක්ෂපාතකම ද නිදොස් අයට නිදොස් බව ද දක්වන සේක.</verse>
				<verse number="26">පිවිතුරු අයට පිවිතුරු බව ද හිතුවක්කාර අයට විරෝධය ද දක්වන සේක.</verse>
				<verse number="27">ඔබ පීඩිතයන් මුදන සේක; එහෙත්, ඔබ උඩඟු වූවන් පහතට හෙළන සේක.</verse>
				<verse number="28">සමිඳුනි, ඔබ මාගේ පහන දල්වන සේක; මාගේ දෙවි සමිඳාණෝ මාගේ අඳුර එළිය කරන සේක.</verse>
				<verse number="29">ඔබේ පිහිටෙන් මම යුද හමුදා අබිබවමි: දෙවි සරණින් මම පවුරු උඩින් පැන යමි.</verse>
				<verse number="30">දෙවි මඟ සර්ව සම්පූර්ණ ය; සමිඳුන්ගේ වචනය තිරසර ය. සරණ පතා එන හැම අයට එතුමාණෝ පලිහකි.</verse>
				<verse number="31">හිමි තුමන් හැර වෙන දෙවි කෙනෙක් ඇද් ද? අපේ දෙවිඳුන් හැර පර්වතයක් තවත් ඇද් ද?</verse>
				<verse number="32">මාගේ ඉඟටිය බලයෙන් පළඳවන්නෝ දෙවිඳාණෝ ය. මාගේ මාර්ගය සර්ව සම්පූර්ණ කරන්නෝත් එතුමාණෝ ය.</verse>
				<verse number="33">
					මාගේ දෙපා මුව පාද මෙන් ශීඝ්‍ර කරන්නෝත්,
					උස් ගිරි මුදුන්වල මා පිහිටුවන්නෝත් එතුමාණෝ ය.
				</verse>
				<verse number="34">මාගේ බාහුවෙන් ලෝකඩ දුනු නමන තරමට යුද බිමට මා පුහුණු කරන්නෝත් එතුමාණෝ ය.</verse>
				<verse number="35">ගැළවීමේ පලිහ ඔබ මට දුන් සේක. ඔබේ දකුණත මාගේ අනුග්‍රහය විය. ඔබේ පිහිට මා උසස් කෙළේ ය.</verse>
				<verse number="36">ඔබ මා යන මඟ පළල් කළ සේක; මාගේ දෙපා ස්ථිර ව පිහිටිණි.</verse>
				<verse number="37">මාගේ සතුරන් ලුහුබැඳ අල්ලාගනිමි; ඔවුන් වනසා මිස ආපසු නොහැරෙමි.</verse>
				<verse number="38">යළි නොනැඟිටින පරිදි ඔවුන්ට පහර දෙමි. ඔව්හු මා පා සෙවණෙහි වැටෙති.</verse>
				<verse number="39">සටනට ඔබ මාගේ ඉඟටිය බලයෙන් පළඳවන සේක; මට විරුද්ධ ව නැඟුණු අය ඔබ මා යටතෙහි මැඩලන සේක.</verse>
				<verse number="40">මාගේ වෛරක්කාරය‍න් මා විසින් සිඳලනු ලබන පිණිස, මාගේ සතුරන් මට පිටු පාන්නට සලසන සේක.</verse>
				<verse number="41">ඔව්හු පිහිට සොයා මොරගසති. එහෙත්, ඔවුන්ට ගැළවුම්කාරයෙක් නැත. සමිඳුන්ට මොරගසති; එහෙත්, එතුමාණන්ගෙන් පිළිතුරක් නැත.</verse>
				<verse number="42">එවිට මම සුළඟෙහි පාවෙන දූවිල්ල මෙන් ඔවුන් සුණු විසුණු කරමි; වීදිවල මඩ මෙන් ඔවුන් පයින් පාගාදමමි.</verse>
				<verse number="43">ඔබ ජනතාවගේ උද්ඝෝෂණවලින් මා මුදාගන්න සේක; මා ජාතීන්ගේ නායකයා කරන සේක. මා පෙර දැන නොසිටි සෙනඟක් මට සේවය කරති.</verse>
				<verse number="44">මා ගැන ඇසූ කෙණෙහි ම ඔව්හු මට කීකරු වන්නෝ ය; විදේශීහු බැගෑපත් ලීලාවෙන් මා සොයා එන්නාහ.</verse>
				<verse number="45">විදේශීහු මට අවනත වන්නෝ ය; සිය බලකොටුවලින් වෙවුල වෙවුලා පිටතට එන්නෝ ය.</verse>
				<verse number="46">සමිඳාණෝ සැරදෙත් වා! මාගේ ප්‍රාකාරය වන එතුමන්ට පැසසුම් වේ වා! මාගේ විමුක්තිදායකයාණෝ අන් හැමට පරමෝත්තම වන සේක.</verse>
				<verse number="47">එතුමාණෝ වනාහි මා වෙනුවෙන් පළිගන්න, ජාතීන් මට යටත් කර දෙන දෙවිඳාණෝ ය.</verse>
				<verse number="48">එතුමාණෝ මාගේ සතුරන්ගෙන් මා මුදන සේක; මට විරුද්ධ ව නැඟිටිනවුන්ට ඉහළින් ඔබ මා පිහිටුවන සේක. ප්‍රචණ්ඩකාරීන්ගෙන් මා මුදන සේක.</verse>
				<verse number="49">
					එබැවින් සමිඳුනි, මම විජාතීන් අතර ඔබට පැසසුම් පුදමි;
					ඔබේ නමට තුති ගී ගයන්නෙමි.
				</verse>
				<verse number="50">එතුමාණෝ සිය රජුට ජය සිරි දෙන සේක; තමන් අතින් අබිසෙස් ලත් දාවිත් රජුට ද ඔහුගේ වංශයට ද සදහට ම කරුණා කරන සේක.</verse>
			</chapter>
			<chapter number="19">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. අහස් තලය දෙවි මහිමය ප්‍රකාශ කරන්නේ ය; ගුවන් තලය එතුමන්ගේ අත්කම් විදහා පාන්නේ ය.</verse>
				<verse number="2">එක් දිනක් තව දිනකට මෙපුවත කියන්නේ ය; එක් රැයක් තව රැයකට එය ම පවසන්නේ ය.</verse>
				<verse number="3">කතාවක්, වදනක්, කිසියම් හඬක් ඇසෙන්නේ නැති වුව ද ඒ පණිවුඩය ලොව පුරා පැතිරී යන්නේ ය.</verse>
				<verse number="4">
					එය දියත දසත විහිදී යයි, දෙවි තුමාණෝ හිරුට එහි මණ්ඩපයක් සාදා දුන් සේක.
				</verse>
				<verse number="5">මඟුල් පෝරුවකින් බැස එන මනාලයෙකු ලෙසින්, ප්‍රීතියෙන් තරඟයට අරඅඳින වීර ධාවකයෙකු විලසින්,</verse>
				<verse number="6">හිරු රජිඳාණෝ අහසේ කොණකින් උදා වී අනික් කොණින් චාරිකාව නිම කරති. එහි රස්නය නොවදින තැනක් නැත්තේ ය.</verse>
				<verse number="7">සමිඳුන්ගේ ව්‍යවස්ථාව පරිසමාප්ත ය; ජීවිතය පණ ගන්වන්නේ ය. සමිඳුන්ගේ නීතිය සත්‍යවාදී ය; අනුවණයන්ට නුවණ දෙන්නේ ය.</verse>
				<verse number="8">සමිඳුන්ගේ අණපණත් සාධාරණ ය; සිතට සතොස වඩන්නේ ය. සමිඳුන්ගේ අණසක පැහැදිලි ය; දෙනෙතට එළිය දෙන්නේ ය,</verse>
				<verse number="9">සමිඳුන් කෙරෙහි ගරුබිය නිර්මල ය; එය සදහට ම පවතින්නේ ය. සමිඳුන්ගේ විනිශ්චය යුක්තිසහගත ය; මුළුමනින් දැහැමි වේ ම ය.</verse>
				<verse number="10">රනට වඩා, පෙරූ රනට වඩා, එය මනහර ය; පැණියට වඩා, මී පැණියට වඩා, එය සුමිහිරි ය.</verse>
				<verse number="11">එය ඔබ සේවකයා හට අනතුරු ඇඟවීමක් වන්නේ ය; එය පිළිපැදීමෙන් විපුල විපාක අත්වන්නේ ය.</verse>
				<verse number="12">මාගේ රහස් වැරදි දන්නෝ කවුරු ද? නොදැන මා කළ පව් සෝදා හළ මැනව.</verse>
				<verse number="13">උඩඟුකමේ පාපයෙන් මා වැළැක්වුව මැනව. එහි බලපෑමට මම යටත් නොවෙම්වා. එවිට මම දරුණු පවින් නිදහස් වී, නිදොස් කෙනෙක් වන්නෙමි.</verse>
				<verse number="14">මාගේ පර්වතය ද මාගේ මිදුම්කරු ද වන සමිඳුනි, මා මුවේ වචන ද මා සිතෙහි භාවනා ද ඔබ හට ප්‍රිය මනාප වේ වා!</verse>
			</chapter>
			<chapter number="20">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. විපත්ති දවසේ දී හිමි තුමාණෝ ඔබට පිළිතුරු දෙන සේක් වා! ජාකොබ්ගේ දෙවිඳාණෝ ඔබට බලකොටුවක් වන සේක් වා!</verse>
				<verse number="2">එතුමාණෝ ශුද්ධස්ථානයෙන් ඔබට පිහිට එවා, සියොන් කන්දේ සිට ඔබ බලවත් කරන සේක් වා!</verse>
				<verse number="3">ඔබේ පුද පූජා සියල්ල සිහි කරන සේක් වා! ඔබේ දවන යාග පූජා පිළිගන්න සේක් වා!</verse>
				<verse number="4">ඔබේ මන දොළ ඉටු කරන සේක් වා! ඔබේ පැතුම් සාර්ථක කරන සේක් වා!</verse>
				<verse number="5">ඔබේ ජය සිරි ගැන අපි තුති පසස් නඟමු; අපේ දෙවිඳුන් නමින් ජය කෙහෙලි නංවමු. සමිඳාණෝ නුඹේ සියලු අයැදුම් ඉටු කරන සේක් වා!</verse>
				<verse number="6">හිමි සඳ සිය අබිසෙස් ලත් අය මුදන බව දනිමි. සමිඳාණෝ, සිය සුපිරිසිදු සගලොව සිට සිය දකුණතේ විමුක්ති ශක්තියෙන් ඔහුට පිළිතුරු දෙන සේක.</verse>
				<verse number="7">සමහරු යුද රිය කෙරෙහි ද ඔවුන්ගේ අශ්වයන් කෙරෙහි ද විශ්වාසය තබති. එහෙත්, අපි නම් දෙවි සමිඳාණන් කෙරෙහි විශ්වාසය තබමු.</verse>
				<verse number="8">ඔව්හු වකුටු වී වැටෙන්නෝ ය. එහෙත්, අපි නැඟිට කෙළින් සිටිමු.</verse>
				<verse number="9">සමිඳුනි, රජතුමා මිදුව මැනව; අප යදින විට පිළිතුරු දුන මැනව.</verse>
			</chapter>
			<chapter number="21">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. සමිඳුනි, ඔබේ බල පැරකුම් ගැන රජ තෙමේ උදන් අනයි; ඔබ දුන් විමුක්තිය ගැන ඔහු කොතරම් ප්‍රමෝද වන්නේ ද!</verse>
				<verse number="2">ඔබ ඔහුගේ මන දොළ පුරවා ලූ සේක; ඔහුගේ යාදිනි නොපිරිහෙළා ඉටු කළ සේක.</verse>
				<verse number="3">ඔබ සැප සම්පත් රැගෙන ඔහු වෙත එන සේක; ඔහුට පිවිතුරු රන් කිරුළක් පළඳවන සේක.</verse>
				<verse number="4">ඔහු ඔබෙන් දිවි සම්පත අයැදී ය, ඔබ ඔහුට එය දුන් සේක; දිගායු ද ප්‍රදානය කළ සේක.</verse>
				<verse number="5">ඔබෙන් ලත් විමුක්තිය රජුට යස ඉසුරු ගෙන දෙයි. කීර්තිය හා ප්‍රතාපය ඔබ ඔහුට දෙන සේක.</verse>
				<verse number="6">ඔබ ඔහුට සදහට ම ඉමහත් ආසිරි දානය කරන සේක; ඔබ ඔහු සමඟ සිටීමෙන් ඇති වන ප්‍රීතියෙන් ඔහු පිනවන සේක.</verse>
				<verse number="7">මන්ද, සමිඳුන් කෙරේ රජ තෙමේ විශ්වාසය තබයි; මහෝත්තමයාණන්ගේ කරුණා මහිමය නිසා ඔහු නොසැලී රජකම් කරයි.</verse>
				<verse number="8">රජුගේ වමතට සියලු සතුරෝ ද දකුණතට වෛර බඳින්නෝ ද අසු වන්නෝ ය.</verse>
				<verse number="9">ඔබේ කෝපය ඔවුන්ට බුර බුරා නඟින ගිනි උදුනක් වනු ඇත, හිමි තුමාණෝ සිය උදහසින් ඔවුන් වනසාලන සේක. ගින්නකින් මෙන් ඔවුන් දවා ලන සේක.</verse>
				<verse number="10">ඔබ ඔවුන්ගේ දූ දරුවන් සිඳ දමන සේක; ඔවුන්ගේ මුණුබුරන් මිනිස් ලොවින් සහමුලින් වනසන සේක.</verse>
				<verse number="11">මන්ද, ඔබට විරුද්ධ ව ඔවුන් කුමන්ත්‍රණය කළත්, උපා මාර්ග යෙදුවත් ඒවා සාර්ථක නොවනු ඇත.</verse>
				<verse number="12">ඔබේ ඊගස් ඔවුන්ගේ මුහුණට එල්ල කරනු ඇත; එවිට ඔවුන් පිටුපා යනු ඇත.</verse>
				<verse number="13">සමිඳුනි, ඔබේ වික්‍රම පාමින් උසස් වනු මැනව. එවිට අපි ඔබේ තෙද බල විකුම් ගැන ප්‍රශස්ති ගීත ගයන්නෙමු.</verse>
			</chapter>
			<chapter number="22">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. මාගේ දෙවියෙනි, මාගේ දෙවියෙනි, ඔබ මා අත්හැරියේ මන් ද? මට පිහිට නොවී මාගේ යාදිනිවලින් ඈත් ව සිටින්නේ මන් ද?</verse>
				<verse number="2">මාගේ දෙවියෙනි, දවාලෙහි මම ඔබට හඬගසමි; පිළිතුරක් නැත; රාත්‍රියේදීත් හඬගසමි; ඉස්පාසුවක් නැත.</verse>
				<verse number="3">ඉශ්රායෙල් ජනතාවගේ ප්‍රශස්ති ගීත මැද වැඩ වසන සුවිශුද්ධවරයාණෝ ඔබ ම ය.</verse>
				<verse number="4">අපේ මුතුන්මිත්තෝ ඔබ අදහා, ඔබ සරණ සොයා ගියෝ ය. ඔබ ඔවුන්ට මිදුම දුන් සේක.</verse>
				<verse number="5">ඔව්හු ඔබට යැදුම් කළහ; මුදනු ලැබුවෝ ය. ඔබ මත විශ්වාසය තැබූ හ; ලජ්ජා නොවූවෝ ය.</verse>
				<verse number="6">අනේ! මම මිනිසෙක් නොව නර පණුවෙකි; මිනිසුන් අතර නීචයෙකි. ඔව්හු මෙමා හෙළා දකිති.</verse>
				<verse number="7">
					සියල්ලෝ මා දෙස බලා, කවටකම් කරති;
					දත නියවා, හිස වනා මෙසේ කියති:
				</verse>
				<verse number="8">
					“සමිඳුන්ට ඔහු බාර විණි, එතුමන් ඔහු ගළවා නොගන්නේ මන් ද?
					සමිඳුන්ට ඔහු ප්‍රිය මනාප විණි, එතුමන් ඔහු මුදා නොගන්නේ මන් ද?”
				</verse>
				<verse number="9">මව් කුසයෙන් මා බිහි කළ, මවගේ ළයෙහි මා සැතපූ උතුමාණෝ ඔබ නොවන සේක් ද?</verse>
				<verse number="10">මව් කුස හොත් අවදියේ සිට, උපත ලැබූ දිනයේ සිට මා රැකගත් දෙවිඳාණෝ ඔබ ය.</verse>
				<verse number="11">දුක් කරදර ළඟ ළඟ ඇත. ම වෙතින් ඈත් ව නොගිය මැනව. අන් සරණක් මට නැත.</verse>
				<verse number="12">මාගේ සතුරෝ ගොන් රැළක් මෙන් මා වටකර සිටිති. බාෂාන්හි කුළු හරකුන් මෙන් මා වටලා සිටිති.</verse>
				<verse number="13">ගොදුරු කකා ගොරවන සිංහයන් මෙන් කට අයා, ඔව්හු මා දෙස බලා සිටිති.</verse>
				<verse number="14">මම බිම ඉහිරුණ වතුර වැනි ය. මාගේ ඇඟ කටු හන්දිවලින් වෙන් වී ඇත. මසිත මා තුළ උණු වී ගිය ඉටි පිඬක් වැනි ය.</verse>
				<verse number="15">මාගේ උගුර කැබිලිත්තක් මෙන් වියළී තිබේ. මාගේ දිව ද උඩුතල්ලේ ඇලී ඇත. ඔබ මා මළ කෙනෙකු මෙන් පසට භාර දී ඇත.</verse>
				<verse number="16">මන්ද, නපුරු මිනිස්සු බලු රැළක් මෙන් මා වටකර ගත්තෝ ය. මැරවරයෝ රැළක් මා වටලා ගත්තෝ ය. ඔව්හු මාගේ දෑත් දෙපා සිදුරු කළෝ ය.</verse>
				<verse number="17">මාගේ ඇටකටු ගණන් කළ හැකි තරමට පෑදී ඇත. සතුරෝ මා දෙස රවා ඔරවා බලති.</verse>
				<verse number="18">
					මාගේ වස්ත්‍ර තම තමන් අතර බෙදා ගනිති;
					මාගේ සළුව ගැනීමට දාදු දමති.
				</verse>
				<verse number="19">හිමි තුමාණෙනි, මා හැර දමා ඈත් නොවනු මැනව; මාගේ බලය වන ඔබ මට පිහිට වන්නට කඩිනම් වුව මැනව.</verse>
				<verse number="20">කඩුවෙන් මා මිදුව මැනව; ඒ බල්ලන්ගේ උවදුරෙන් මා ගැළෙවුව මැනව.</verse>
				<verse number="21">සිංහ කටෙන් මා ගැළෙවුව මැනව; කුළු හරකුන්ගේ අංවලට මැදි වූ මා මිදුව මැනව.</verse>
				<verse number="22">
					ඔබේ නාමය මාගේ සහෝදරයන්ට ප්‍රකාශ කරන්නෙමි;
					බැතිමතුන්ගේ සභාවේ දී ඔබට ප්‍රශංසා කරන්නෙමි.
				</verse>
				<verse number="23">හිමි සමිඳාණන්ට ගරුබිය ඇත්තෙනි, එතුමන් පසසන්න; ජාකොබ් වංශයේ සියල්ලෙනි, එතුමන්ට ගෞරවය දෙන්න; ඉශ්රායෙල් වංශයේ සියල්ලෙනි, එතුමන් ඉදිරියෙහි ගරු බියෙන් සිටින්න;</verse>
				<verse number="24">එතුමාණෝ විපතට පත් අයගේ විපතට අවමන් නොකළ සේක; එය පිළිකුල් කොට නොසිතූ සේක; ඔහු කෙරෙන් සිය මුහුණ අහකට හරවා නොගත් සේක; ඔහු හඬගැසූ කල එතුමාණෝ සවන් දුන් සේක.</verse>
				<verse number="25">මහා සභාවේ මාගේ ප්‍රශංසාවේ තේමාව ඔබ ය. එතුමන්ට ගරුබිය ඇති අය අබිමුව මාගේ භාර ඉටු කරන්නෙමි.</verse>
				<verse number="26">දුගී දුප්පත් අය කා බී තෘප්තිමත් වන්නෝ ය; හිමි තුමන් සොයන්නෝ එතුමන්ට ගී පසස් නඟන්නෝ ය. ඔව්හු සදහට ම සෞභාග්‍යය ලබත් වා!</verse>
				<verse number="27">මහ පොළොවේ සතර දිගින් ජනයෝ සමිඳුන් සමරමින් එතුමන් වෙත හැරී එති. සකල ලෝක වාසීහු ඔබ අබිමුව වැඳ වැටෙති.</verse>
				<verse number="28">මන්ද, සමිඳාණෝ රජිඳාණෝ ය, ජාතීන්ගේ පාලකයාණෝ ය.</verse>
				<verse number="29">පොළොවෙහි උඩඟු අය එතුමන්ට වැඳ වැටෙනු ඇත; පොළොවේ මැරෙන සුලු අය එතුමන් නමදිනු ඇත.</verse>
				<verse number="30">මාගේ වංශය එතුමන්ට මෙහෙ කරනු ඇත; මතු පරම්පරාවලට සමිඳුන් පිළිබඳ මෙපුවත කියනු ඇත.</verse>
				<verse number="31">“එතුමාණෝ මෙසේ කළ සේකැ”යි කියමින්, ඔව්හු මතු ඇති වන පරම්පරාවලට එතුමන්ගේ දැහැමි ක්‍රියා පවසනු ඇත.</verse>
			</chapter>
			<chapter number="23">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. සමිඳාණෝ මා එඬේරාණෝ ය; අග හිඟ මට නොවන්නේ ය.</verse>
				<verse number="2">
					එතුමාණෝ නිල් තණ බිම් මත මා සතප්වා, නිසල දිය වෙත පමුණුවා,
				</verse>
				<verse number="3">මා පණගන්වන සේක. සිය නාමයේ මහිමය සැලසෙන ලෙස දමිටු මඟ මා ගෙන යන සේක.</verse>
				<verse number="4">මරණය වැනි ගන’ඳුරු රුදුරු නිම්නය මැදින් ගියත්, ඔබ මා සමඟ බැවින්, මට කිසි බියක් නොවන්නේ ය. ඔබේ කෙවිට ද සැරයටිය ද මා නියත සැනසිල්ල වන්නේ ය.</verse>
				<verse number="5">ඔබ මාගේ සතුරන් ඉදිරියේ දී, මංගල බොජුනක් පිළියෙළ කර දී, මා සිරස තෙලින් ආලේප කරන සේක. මාගේ කුසලාන උතුරා යන්නේ ය.</verse>
				<verse number="6">ඔබේ දයාව හා කරුණාව නියත ව, දිවිහිමියෙන් මා අනුව එන්නේ ය. සමිඳුන්ගේ නිවාසය මාගේ සදාතන වාසය වන්නේ ය.</verse>
			</chapter>
			<chapter number="24">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. පොළොව හා එහි ඇති සෑම දෙය ද සකල ලෝ වාසීහු ද සමිඳුන් සන්තක වෙති.</verse>
				<verse number="2">මුහුදු ජලය පිට පොළොව පිහිටුවා, සයුරු පත්ලෙහි එය ස්ථාපිත කෙළේ එතුමාණෝ ය.</verse>
				<verse number="3">හිමි තුමන්ගේ කන්දට නඟින්නට ශුද්ධ කවුරු ද? එතුමන්ගේ ශුද්ධ දෙව් මැදුරෙහි නවතින්නට හැකි කාට ද?</verse>
				<verse number="4">
					ක්‍රියාවෙන් පිරිසිදු, සිතින් නිර්මල, නිෂ්ඵල දෙයට වැඳුම්පිදුම් නොකරන, බොරුවට නොදිවුරන, තැනැත්තාට ය.
				</verse>
				<verse number="5">එවැනි අයට සමිඳාණෝ ආසිරි දෙති; මිදුම්කාර දෙවිඳාණෝ මොක් සුව දෙති.</verse>
				<verse number="6">දෙවිඳුන් සොයා යන්නෝ ද ජාකොබ්ගේ දෙවිඳුන්ගේ සරණ පතා යන්නෝ ද එවැනි අය ය.</verse>
				<verse number="7">ද්වාරයෙනි, විවෘත ව සිටින්න; පැරණි දොරටුවෙනි, විවෘත ව ම සිටින්න; ප්‍රතාපවත් මහා නිරිඳාණෝ වඩින සේක.</verse>
				<verse number="8">ඒ මහා ප්‍රතාපවත් නිරිඳාණෝ කවරෙක් ද? තෙද බල යුතු හිමි තුමාණෝ ය; යුද්ධ ජයගත් හිමි තුමාණෝ ය.</verse>
				<verse number="9">වාසල් දොරටු හොඳට ම විවෘත කොට තබන්න; පැරණි දොරටු විවෘත කොට තබන්න. ප්‍රතාපවත් මහා නිරිඳාණෝ වඩින සේක.</verse>
				<verse number="10">මේ ප්‍රතාපවත් මහා නිරිඳාණෝ කවරෙක් ද? ඒ ප්‍රතාපවත් මහා නිරිඳාණෝ, සව් බලැති හිමි තුමාණෝ වෙති.</verse>
			</chapter>
			<chapter number="25">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. ඔබ වෙත සමිඳුනි මා හදවත ඔසවමි.</verse>
				<verse number="2">මාගේ දෙවියෙනි ඔබ කෙරේ විශ්වාසය තබමි. මා ලජ්ජාවට පත් වන්න ඉඩ නුදුන මැනව; මා පරදා ජය හඬ නඟන්න මා සතුරන්ට ඉඩ නොතැබුව මැනව.</verse>
				<verse number="3">ඔබ කෙරේ විශ්වාසය තබන කිසිවෙකු පරාජය වන්නේ නැත. හිතුවක්කාර ලෙස විශ්වාසය කඩ කරන අය පරාජය වන්නෝ ය.</verse>
				<verse number="4">සමිඳුනි, ඔබේ ක්‍රියා මාර්ගය මට හෙළි කළ මැනව; ඔබේ මාවත් මට පැහැදිලි කළ මැනව.</verse>
				<verse number="5">ඔබේ සත්‍යය අනුව මා ගෙන ගිය මැනව; මට එය ඉගැන්නුව මැනව; මන්ද, ඔබ මාගේ විමුක්තිදායක දෙවිඳාණෝ ය. දවස පුරා ඔබ එන මඟ බලා සිටිමි.</verse>
				<verse number="6">සමිඳුනි, ඔබේ කරුණා ගුණයත්, තිර පෙමත් සිහි කළ මැනව. මේවා ඔබේ චිරාගත ගුණාංගයෝ ය.</verse>
				<verse number="7">සමිඳුනි, මාගේ යොවුන් වියේ පාප ද අපරාධ ද සිහි නොකළ මැනව. සමිඳුනි, ඔබේ යහපත්කම ද මහා කරුණාව ද අනුව මා සිහි කළ මැනව.</verse>
				<verse number="8">සමිඳාණෝ යහපත් ය; අවංක ය. එතුමාණෝ පවිටුන් හට යා යුතු මාර්ගය උගන්වන සේක.</verse>
				<verse number="9">එතුමාණෝ නිහතමානී අය යුක්තියෙහි හසුරුවන සේක. එතුමාණෝ යටහත් පහත් අයට තම මාර්ගය උගන්වන සේක.</verse>
				<verse number="10">හිමි තුමන්ගේ ගිවිසුම හා ශික්ෂා පද පිළිපදින අයට එතුමන්ගේ සියලු මාවත් කරුණාවේ හා සත්‍යයේ මාවත් වනු ඇත.</verse>
				<verse number="11">හිමි සමිඳුනි, මාගේ අයුතුකම් මහත් බැවින්, ඔබේ නාමය නිසා, මට කමාවුව මැනව.</verse>
				<verse number="12">සමිඳුන් කෙරේ ගරුබිය ඇති අය හට ඔහු යා යුතු මඟ එතුමාණෝ පහදා දෙන සේක.</verse>
				<verse number="13">ඔහු සුව සේ වාසය කරයි; ඔහුගේ වංශයට දේශය හිමි වෙයි.</verse>
				<verse number="14">හිමි තුමන්ගේ රහස් සැලැස්ම එතුමාණන් කෙරේ ගරුබිය දක්වන අයට පෙන්වා ඇත; එතුමාණන් ස්වකීය ගිවිසුම ඔවුන්ට දන්වා ඇත.</verse>
				<verse number="15">මාගේ දෙනෙත නිරතුරු හිමි සමිඳාණන් දෙසට යොමුව ඇත; මන්ද, එතුමාණෝ මාගේ දෙපා සතුරාගේ දැලෙන් මුදාගන්න සේක.</verse>
				<verse number="16">මා දෙස බලා මට කරුණා කළ මැනව. මන්ද, මම අසරණවෙමි; පීඩිතවෙමි.</verse>
				<verse number="17">මසිත දුකින් පිරී ඇත; මාගේ විපත්වලින් මා මිදුව මැනව.</verse>
				<verse number="18">මාගේ දුක්ගැනවිලි හා වේදනා කල්පනාවට ගත මැනව; මාගේ සියලු පව් කමා කළ මැනව.</verse>
				<verse number="19">බලන්න, මාගේ සතුරෝ බොහෝ ය. කෲර වෛරයෙන් ඔව්හු මට වෙර බඳිති.</verse>
				<verse number="20">මා රැකවල් කොට මා මිදුව මැනව. ඔබ කෙරේ විශ්වාසය තැබූ මම පරාජය නොවෙම් වා!</verse>
				<verse number="21">සත්‍යය හා අවංකකම මාගේ රැකවරණ වේ වා! මාගේ බලාපොරොත්තුව ඔබ ය.</verse>
				<verse number="22">දෙවිඳුනි, ඉශ්රායෙල් ජනතාව සියලු ආපදාවලින් මිදුව මැනව.</verse>
			</chapter>
			<chapter number="26">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. සමිඳුනි, මා ගැන යුක්තිය ඉටු කළ මැනව. මන්ද, මාගේ හැසිරීම නිදොස් ය. සමිඳුන් කෙරේ අචල විශ්වාසයක් මට ඇත.</verse>
				<verse number="2">සමිඳුනි, මා සෝදිසි කොට, පරීක්ෂා කර බැලුව මැනව; මාගේ සිත හා මනස විමසා බැලුව මැනව.</verse>
				<verse number="3">ඔබේ මහා කරුණාව මාගේ දෙනෙතින් දිටිමි. ඔබට විශ්වාසී ව දවස් යැවීමි.</verse>
				<verse number="4">මම වැදගැම්මකට නැති මිනිසුන් සමඟ නොහැසිරෙමි; කෛරාටිකයන් ඇසුරු නොකරමි.</verse>
				<verse number="5">දුදනන්ගේ සමාගමට මම තදින් ම විරුද්ධ ය. ඔවුන් සමඟ පයිරුපාසනයක් මාගේ නැත.</verse>
				<verse number="6">නිදොස් බව දැක්වීමට මාගේ අත් සෝදා, සමිඳුනි, ඔබේ පුදසුන පැදකුණු කරන්නෙමි.</verse>
				<verse number="7">සමිඳුනි, තුති ගොස පතුරා හරින පිණිසත්, ඔබේ අසිරිමත් ක්‍රියා පසසන පිණිසත් මම එසේ කරමි.</verse>
				<verse number="8">සමිඳුනි, ඔබේ වාසභවනයටත්, ඔබ තේජසින් වැජඹෙන මන්දිරයටත් මම ප්‍රේම කරමි.</verse>
				<verse number="9">පවිටුන් හා සමඟ මා විනාශ නොකළ මැනව; මිනීමරුවන් සමඟ මා පහ නොකළ මැනව.</verse>
				<verse number="10">ඔවුන්ගේ අත්වල නපුරු උපායන් වේ; ඔවුන්ගේ දකුණත් අල්ලසින් දූෂණය වී ඇත.</verse>
				<verse number="11">මම මේ නිදොස්කමින් දවස් යවමි; මා මුදා, මට කරුණා කළ මැනව.</verse>
				<verse number="12">මාගේ පාද යහ මඟ පිහිටා ඇත. ප්‍රසිද්ධ නමස්කාරයේ දී සමිඳුන් හට පැසසුම් ගී ගයන්නෙමි.</verse>
			</chapter>
			<chapter number="27">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. හිමිසඳ මාගේ ආලෝකය හා විමුක්තිය ය; මම කිසිවෙකුට බිය නොවෙමි. හිමිසඳ මාගේ ජීව ශක්තිය ය; මට භීතියක් නැත.</verse>
				<verse number="2">දුදනන් වන මාගේ විරුද්ධකාරයෝ සහ සතුරෝ මා කා දමන පිණිස ආ කල ඔව්හු පැකිළී වැටුණෝ ය.</verse>
				<verse number="3">බළ ඇණියක් මට විරුද්ධ ව කඳවුරු බැන්දත්, මසිතට බියක් නැත. මට විරුද්ධ ව යුද ගිනි ඇවිළුණත්, මම සුරක්ෂිත ව සිටිමි.</verse>
				<verse number="4">හිමි තුමන්ගෙන් එක ම යැදුමක් යදිමි; එය තරයේ සොයන්නෙමි. එනම්, හිමි තුමන්ගේ ශෝභාලංකාරය නරඹන පිණිසත්, දේව මාලිගාවේ දී උදය භාවනා කරන පිණිසත් මා දිවි ඇති තාක් හැම දා සමිඳුන්ගේ මන්දිරයේ විසීමට ය.</verse>
				<verse number="5">විපත් දවසේ දී එතුමාණෝ සිය භවනෙහි මා තබා රක්නා සේක; සිය මණ්ඩපයෙහි රහස් කාමරයක මා සඟවන සේක. එතුමාණෝ මා ඔසවා පව්වක් මත මා තබන සේක.</verse>
				<verse number="6">දැනුදු මා සිසාරා සිටින මාගේ සතුරන්ට ඉහළින් මාගේ හිස ඔසවමි; එතුමන්ගේ මණ්ඩපයෙහි ප්‍රීති පූජා පුදන්නෙමි; හිමි සඳුට ගී ගයා වාදනය කරන්නෙමි.</verse>
				<verse number="7">හිමි තුමාණෙනි, මා හඬ නඟා කියන දෙයට සවන් දුන මැනව; මට කරුණා කොට උත්තර දුන මැනව.</verse>
				<verse number="8">“මා අබිමුවට එන්නැ”යි ඔබ කියන කල, සමිඳුනි, “ඔබ අබිමුවට එන්නෙමි”යි මාගේ සිතින් කීවෙමි.</verse>
				<verse number="9">මා කෙරෙන් ඔබේ මුහුණ සඟවා නොගත මැනව; උදහසින් ඔබ මෙහෙකරුවා බැහැර නොකළ මැනව. ඔබ මාගේ සරණ වන සේක. මාගේ විමුක්තිදායක දෙවියෙනි, මා පහ නොකළ මැනව; මා අත් නොහළ මැනව.</verse>
				<verse number="10">මාගේ මවුපිය දෙදෙනා මා අත්හැරියෝ ය; එහෙත්, හිමි තුමාණෝ මා පිළිගන්න සේක.</verse>
				<verse number="11">සමිඳුනි, ඔබේ දහම් මඟ මට ඉගැන්නුව මැනව; මාගේ සතුරන් නිසා උවදුරු රහිත මඟක මා ගෙන ගිය මැනව.</verse>
				<verse number="12">මාගේ එදිරිකරුවන්ගේ අභිප්‍රායවලට මා පාවා නුදුන මැනව. බොරු සාක්ෂිකාරයෝ ද කෲර ලෙස තර්ජන කරන්නෝ ද මට විරුද්ධ ව නැඟී සිටිති.</verse>
				<verse number="13">“ජීවතුන් අතර සමිඳුන්ගේ යහපත්කම මට දක්නට ලැබේ ය”යි මම විශ්වාස කරමි.</verse>
				<verse number="14">සමිඳුන් කෙරේ බලා සිටින්න; ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්න; සමිඳුන් කෙරේ බලා සිටින්න.</verse>
			</chapter>
			<chapter number="28">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. සමිඳුනි, ඔබට හඬගසමි, මාගේ පර්වත රාජයාණෙනි, මට සවන් නො දී නොසිටිය මැනව. ඔබ නිහඬ වුවහොත්, මාත් පාතාලයට බැස යන්නවුන්ගෙන් කෙනෙකු වනු ඇත.</verse>
				<verse number="2">මා ඔබට හඬ නඟන කල ද ඔබේ ශුද්ධස්ථානය දෙසට මාගේ දොහොත් මුදුන් තබන කල ද මාගේ යාදිනි හඬට කන් දුන මැනව.</verse>
				<verse number="3">සිය අසල්වැසියන් සමඟ සාමදානයෙන් කතා කළත්, හිත යට නපුරු චේතනා ඇති දුෂ්ටයන් ද නොපණත්කම් කරන්නන් ද සමඟ මා පහ නොකළ මැනව.</verse>
				<verse number="4">
					ඔවුන්ගේ ක්‍රියාවල හැටියට ද දුෂ්ට කල්ක්‍රියා අනුව ද ඔවුන්ට පල විපාක දුන මැනව;
					ඔවුන් කළ දේ අනුව ඔවුන්ට පල විපාක දුන මැනව.
				</verse>
				<verse number="5">ඔවුන් සමිඳුන්ගේ ක්‍රියා හෝ එතුමන්ගේ නිර්මාණ හෝ නොසලකන බැවින්, එතුමාණෝ ඔවුන් සදහට ම සුණු විසුණු කරන සේක; යළි නොපිහිටුවන සේක.</verse>
				<verse number="6">සමිඳුන් හට ප්‍රශංසා වේ වා! මන්ද, එතුමාණෝ මාගේ යාදිනි හඬට සවන් දුන් සේක.</verse>
				<verse number="7">සමිඳාණෝ මාගේ ශක්තිය ය; මාගේ පලිහ ය. මම එතුමාණන් කෙරේ විශ්වාසය තැබීමි; මම පිහිට ලදිමි. එබැවින් මාගේ සිත අතිශයින් උදන් අනයි; මම එතුමන්ට හද පත්ලෙන් තුති ගී ගයන්නෙමි.</verse>
				<verse number="8">සමිඳාණෝ සිය සෙනඟගේ ශක්තිය ය. එතුමාණෝ සිය රාජාභිෂේකය දුන් අයට විමුක්තියේ බලකොටුව වන සේක.</verse>
				<verse number="9">ඔබේ සෙනඟ මුදා, ඔබේ ආවේණික සෙනඟට ආසිරි දුන මැනව; ඔවුන් පෝෂණය කොට සදහට ම රැකබලාගත මැනව.</verse>
			</chapter>
			<chapter number="29">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. දිව්‍ය පුත්‍රයෙනි, සමිඳුන්ට පැසසුම් දෙන්න; එතුමන් තෙද බල පසසන්න.</verse>
				<verse number="2">හිමි තුමන් නමට දිය යුතු මහිමය දෙන්න; පාරිශුද්ධත්වයෙන් සැරසී එතුමන් නමදින්න.</verse>
				<verse number="3">සමිඳාණන්ගේ හඬ ජල මතුයෙහි ඇසේ. ජල මතුයෙහි වැඩ වසන මහිමාන්විත හිමි සමිඳාණෝ ගර්ජනා කරන සේක.</verse>
				<verse number="4">සමිඳාණන්ගේ හඬ බලවත් ය; සමිඳාණන්ගේ හඬ තේජාන්විත ය.</verse>
				<verse number="5">සමිඳාණන්ගේ හඬ කිහිරි ගස් බිඳලයි; ලෙබනොනේ කිහිරි රුක් සුණු විසුණු කරයි.</verse>
				<verse number="6">ලෙබනොන්හි කඳු වැටි උඩ පනින වහු පැටවුන් මෙන් ද හර්මොන් කන්ද දුව පනින ගොන් වස්සකු මෙන් ද නටන්න සලස්වන සේක.</verse>
				<verse number="7">සමිඳුන්ගේ කටහඬ ගිනි දලු බෙදාලයි;</verse>
				<verse number="8">සමිඳුන්ගේ කටහඬ වන ගැබ සොලවයි; හිමි තුමාණෝ කාදෙෂ් වන ගැබ සොලවති.</verse>
				<verse number="9">සමිඳුන්ගේ කටහඬ මුව දෙනුන්ට පැටවුන් බිහි කරවයි, වනය පාළු කරවයි, එතුමන්ගේ මාලිගාවෙහි සැම දෙය ම, “ඔබට මහිමය වේවා”යි කියයි.</verse>
				<verse number="10">සමිඳාණෝ ජල කඳ මත රාජ තේජසින් වැඩ හිඳින සේක; රාජ ලීලාවෙන් සදහට ම වැඩ හිඳින සේක.</verse>
				<verse number="11">සමිඳාණෝ සිය සෙනඟට ශක්තිය දෙන සේක; සිය සෙනඟට සාමදානයෙන් ආසිරි දෙන සේක.</verse>
			</chapter>
			<chapter number="30">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. දේව ගෘහය කැප කිරීමේ ගීතයකි. ඔබ මා උසස් කළ බැවින් ද මාගේ දුක් ගැන මා සතුරන්ට ප්‍රීති වීමට නුදුන් බැවින් ද සමිඳුනි, ඔබට ප්‍රශස්ති ගී ගයමි.</verse>
				<verse number="2">මාගේ දෙවි සමිඳුනි, ඔබට යාදිනි කීවෙමි, ඔබ මට සුව සෙත දුන් සේක.</verse>
				<verse number="3">සමිඳුනි, ඔබ පාතාලයෙන් මා ගොඩ ගත් සේක; මා වළ පල්ලට නොයන පරිදි ඔබ මා දිවි රැකගත් සේක.</verse>
				<verse number="4">පින්වතුනි, සමිඳුන්ට ගී පසස් නඟන්න; ඒ නිර්මල නාමයට තුති ගී ගයන්න.</verse>
				<verse number="5">මන්ද, එතුමන්ගේ උදහස ඇසිල්ලකට පමණ ය. එතුමන්ගේ කරුණාව දිවි ඇති තාක් ය. රැයේ හැඬීම පවතියි; උදය ප්‍රීතිය උදා වෙයි.</verse>
				<verse number="6">“සැප සම්පතේ දී කිසිදාක මම නොසෙල්වෙන්නෙමි”යි කියා ගතිමි.</verse>
				<verse number="7">සමිඳුනි, ඔබේ කරුණාවෙන් ඔබ මා නොසැලෙන පව්වක් මෙන් තහවුරු කළ සේක. එහෙත්, ඔබ මා කෙරෙන් සැඟවුණ විට, මම කැළඹුණෙමි.</verse>
				<verse number="8">සමිඳුනි, ඔබට හඬගැසීමි; සමිඳුන් හට කන්නලව් කෙළෙමි.</verse>
				<verse number="9">මා වළ පල්ලට ගිය විට මාගේ මරණයෙන් කුමක් වේ ද? පොළොවේ පසට හැරුණු අයට ඔබේ සත්‍යය පැවසිය හැකි ද?</verse>
				<verse number="10">සමිඳුනි, සවන් දී මට කරුණා කළ මැනව. සමිඳුනි, ඔබ මාගේ සරණ වුව මැනව.</verse>
				<verse number="11">ඔබ මාගේ දොම්නස සොම්නසට හැරෙවු සේක. ඔබ මාගේ ගෝණි රෙදි මුදා තුටු පිළියෙන් මා සැරසූ සේක.</verse>
				<verse number="12">දැන් ඉතින් මම නිහඬ ව නොසිටිමි. ඔබට ගී පසස් ගයන්නෙමි. මාගේ දෙවි සමිඳුනි, සදහට ම ඔබ හට ගී ගයන්නෙමි.</verse>
			</chapter>
			<chapter number="31">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. සමිඳුනි, ඔබේ රැකවරණය සොයා එමි. කිසිදාක මම නින්දාවට පත් නොවෙම්වා. ඔබේ දැහැමිකමින් මා මුදාලුව මැනව.</verse>
				<verse number="2">මා දෙස ඔබේ දෙසවන යොමා, නොපමා ව මා මිදුව මැනව, මට බලගතු විමුක්ති පර්වතයක් ද ආරක්ෂක බලකොටුවක් ද වුව මැනව.</verse>
				<verse number="3">ඔබ මාගේ පර්වතය හා බලකොටුව ය. එබැවින් ඔබේ නාමයේ අනුහසින් මට මඟපෙන්වා මා ගෙන ගිය මැනව.</verse>
				<verse number="4">මා ඇල්ලීමට ඔවුන් සඟවා ඇති දැලෙන් මා බේරාගත මැනව. ඔබ මාගේ රක්ෂස්ථානය ය.</verse>
				<verse number="5">
					ඔබ අතට මාගේ ජීවිතය භාර කරමි.
					සත්‍යවාදී දෙවි සමිඳුනි, ඔබ මා මිදූ සේක.
				</verse>
				<verse number="6">බොරු දෙවි දේවතාවන් නමදින අයට මම ද්වේෂ කරමි. එහෙත්, මම සමිඳුන් කෙරේ විශ්වාසය තබමි.</verse>
				<verse number="7">ඔබේ කරුණාව ගැන සතුටු වී උදන් අනමි. ඔබ මාගේ දුක් පීඩා දුටු සේක; ඔබ මාගේ සිත් වේදනා තේරුම් ගත් සේක.</verse>
				<verse number="8">සතුරා අතේ මා සිර කොට නොතබා, නිදහසේ යන්න එන්න ඔබ මට ඉඩ දුන් සේක.</verse>
				<verse number="9">සමිඳුනි, මට කරුණා කළ මැනව. මම දුකින් මිරිකී සිටිමි. මාගේ දෑස ද ගතසිත ද සෝදුකින් වෑරී ඇත.</verse>
				<verse number="10">මාගේ ජීවිතය දුකින් ගත වෙයි; මා කල දවස සුසුම්ලෑමෙන් ගෙවී යයි; මාගේ ශක්තිය කනස්සල්ලෙන් පිරිහෙයි; මාගේ ඇට මිදුළු ක්ෂය වී යයි.</verse>
				<verse number="11">මාගේ එදිරිකරුවන් නිසා මම අසල්වැසියන් අතර නව නින්දාවක් වී සිටිමි; මා දන්නා අඳුනන අයට මම භීතියක් වී සිටිමි; වීදියේ මා දක්නා අය මා වෙතින් පලා යන්නෝ ය.</verse>
				<verse number="12">මා මතකයෙන් ඉවත ගිය, මියගිය කෙනෙකු මෙන් අමතක වී ඇත; බිඳුණු බඳුනක් මෙන් ඉවත දා ඇත.</verse>
				<verse number="13">බොහෝ දෙනෙකුගේ කෙලෙසුම් බස් මට ඇසේ; මා අවට භීතිය ඇත. මිනිස්සු මට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට මාගේ දිවි නසාලීමට උපා යොදති.</verse>
				<verse number="14">එහෙත් සමිඳුනි, මා විශ්වාසය තැබුවේ ඔබ කෙරෙහි ම ය. “මාගේ දෙවියෝ ඔබ ය”යි කියමි.</verse>
				<verse number="15">මාගේ ජීවිත ගමන ඔබ අතෙහි ය, මාගේ සතුරන් හා මට පීඩා කරන්නවුන් අතින් මා මුදා හැරිය මැනව.</verse>
				<verse number="16">ඔබ මෙහෙකරු වන මා දෙස කරුණාවෙන් බැලුව මැනව; ඔබේ තිර පෙමින් මා ගැළෙවුව මැනව.</verse>
				<verse number="17">මම ඔබට හඬගසමි; මම නින්දාවට පත් නොවෙම් වා! දුදනෝ නින්දාවට පත් වෙත් වා! ඔව්හු නිහඬ ව පාතාලයට යත් වා!</verse>
				<verse number="18">අභිමානයෙන් හා උඩඟුකමින් සුදනන් හෙළාදක්නා, බොරු කියන දිව නිහඬ කළ මැනව.</verse>
				<verse number="19">දේව ගරුබිය ඇත්තන් උදෙසා තබා ඇති ඔබේ ගුණවත්කම කොතරම් ද? ඔබ කෙරේ විශ්වාසය තැබූ අය වෙත එය කොතරම් මහත් ලෙස පෙනේ ද?</verse>
				<verse number="20">මිනිසුන්ගේ කුමන්ත්‍රණවලින් ඔබ ආරක්ෂාවෙහි ඔබ ඔවුන් සඟවන සේක; කලහකාරි අයගෙන් ඔවුන් වෙන් කොට ඔබේ මැදුරෙහි සුරැකි ව තබන සේක.</verse>
				<verse number="21">සමිඳුන් හට ප්‍රශංසා වේ වා! මන්ද, එතුමාණෝ බලකොටු නුවරක දී එතරම් පුදුම ලෙස මට කරුණාව දැක්වූ සේක.</verse>
				<verse number="22">“ඔබ වෙතින් මා ඉවත දැමූ සේකැ”යි මාගේ ඉක්මන්කාරකමින් කීවෙමි. එහෙත්, මා ඔබේ පිහිට සෙවූ කල මාගේ කන්නලව්වට ඔබ සවන් දුන් සේක.</verse>
				<verse number="23">සමිඳුන්ගේ සියලු සැදැහැවතුනි, එතුමන්ට ප්‍රේම කරන්න; හිමි තුමාණෝ සැදැහැවතුන් රක්නා සේක; උඩඟුකම් කරන්නවුන්ට විපුල ප්‍රතිවිපාක දෙන සේක.</verse>
				<verse number="24">සමිඳුන් කෙරේ විශ්වාසය තබන සියල්ලෙනි, ශක්තිමත් වන්න; සිතින් ධෛර්යවත් වන්න.</verse>
			</chapter>
			<chapter number="32">
				<verse number="1">දාවිත්ගේ අනුශාසනා ගීතයකි. අපරාධයට සමාව ද පාපයට සමාව ද ලත් මිනිසා ආසිරි ලද්දෙකි.</verse>
				<verse number="2">වරදක් ගැන සමිඳුන්ගෙන් චෝදනාවක් නොලබන, වංක සිතක් නොමැති මිනිසා ආසිරි ලද්දෙකි.</verse>
				<verse number="3">මාගේ වරද ගැන නිහඬ ව සිටිමින්, දවස පුරා කඳුළු හෙළා සුසුම් ලෑමෙන් මාගේ ඇඟපත දිරා ගියේ ය.</verse>
				<verse number="4">දිවා රෑ දෙකේ දී ම ඔබ මට දඬුවම් කළ සේක; මාගේ ශක්තිය පහ ව ගියේ ය. ගිම්හානයේ දී නැති වන දියසීරාව මෙන් වියළී ගියේ ය.</verse>
				<verse number="5">
					මාගේ පව් නොසඟවා මම පාපෝච්චාරණය කෙළෙමි.
					“හිමි තුමන්ට මාගේ පව් කියන්නෙමි”යි කීමි. ඔබ ද මාගේ පාප දෝෂ කමා කළ සේක.
				</verse>
				<verse number="6">එබැවින් ඔබේ සැදැහැවත්තු විපතේ දී ඔබට යාච්ඤා කරත් වා! ඉවුරු තළා නඟින මහ ජලධාරා මෙන් විපත්ති පැමිණියත්, ඒවා ඔවුන් අසලටවත් නොපැමිණෙයි.</verse>
				<verse number="7">මා රැකවරණය ඔබ ය; දුක් දොම්නසින් ඔබ මා රක්නා සේක. විමුක්ති ගීත මා අවටින් මතු වෙයි.</verse>
				<verse number="8">“නුඹට උගන්වන්නෙමි; යා යුතු මඟ ගැන උවදෙස් දෙන්නෙමි; මා දෙනෙතින් නුඹ දෙස බලා නුඹට දැනමුතුකම් දෙන්නෙමි.</verse>
				<verse number="9">අශ්වයෙකු හෝ කොටළුවෙකු හෝ මෙන් මෝඩ නොවන්න; උන් දමනය කිරීමට කටකලියාව හා පටිය අවශ්‍ය ය. නැතහොත් නුඹට උන් පාලනය කළ නොහැකි ය.”</verse>
				<verse number="10">දුදනන් හට බොහෝ දුක් දොම්නස් ඇත. එහෙත්, හිමි තුමන් කෙරේ විශ්වාසය තබන්නා දිව්‍ය කරුණාවෙන් වට වී සිටියි.</verse>
				<verse number="11">දමිටුනි, හිමි තුමන් කෙරේ ප්‍රීති වී උදන් අනන්න. අවංක සිත් ඇති සියල්ලෙනි, ප්‍රීති ඝෝෂා පවත්වන්න.</verse>
			</chapter>
			<chapter number="33">
				<verse number="1">දමිටුනි, හිමි තුමන් කෙරේ ප්‍රීති සන්තෝෂ වන්න. ප්‍රශංසාව අවංක අයට හොබනා දෙයකි.</verse>
				<verse number="2">වීණාව වයා හිමි තුමන් පසසන්න; තත් දසයේ වීණාව ගෙන එතුමන්ට පැසසුම් ගීත ගයන්න.</verse>
				<verse number="3">එතුමන්ට නව ගීතයක් නඟන්න; මහ හඬකින් දක්ෂ ලෙස වාදනය කරන්න.</verse>
				<verse number="4">සමිඳුන්ගේ වචනය අවංක ය; එතුමන්ගේ ක්‍රියා සියල්ලක් ම විශ්වාසශීලී ය.</verse>
				<verse number="5">දැහැමි බව හා යුක්තිය එතුමන්ට ප්‍රිය ය. මහ පොළොව හිමි තුමන්ගේ කරුණාවෙන් පිරී ඇත.</verse>
				<verse number="6">හිමි තුමන්ගේ වචනයෙන් ආකාශය ද එතුමන්ගේ හුස්මෙන් සියලු ආකාශ වස්තූහු ද මවනු ලැබූ හ.</verse>
				<verse number="7">එතුමාණෝ මුහුදු දිය දහර එක් ගොඩකට රැස් කරන සේක; ගැඹුරු දිය ගබඩාවල නිදන් කරන සේක.</verse>
				<verse number="8">මුළු මහ පොළොව හිමි තුමන්ට බිය වේවා. සියලු ලෝ වැසියෝත් එතුමන්ට බියෙන් සිටිත් වා!</verse>
				<verse number="9">මන්ද, එතුමාණෝ වචනයෙන් සියල්ල මවන සේක; ආඥාවකින් සියල්ල තහවුරු කරන සේක.</verse>
				<verse number="10">හිමි තුමාණෝ ජාතීන්ගේ සැලසුම් නිෂ්ප්‍රභා කරන සේක; මනුෂ්‍යය ජාතීන්ගේ සිතුවිලි ව්‍යර්ථ කරන සේක.</verse>
				<verse number="11">එහෙත්, සමිඳුන්ගේ සැලසුම් සදහට ම ද එතුමන්ගේ සිතිවිලි පරපුරෙන් පරපුරට ද පවත්නේ ය.</verse>
				<verse number="12">සමිඳුන් තමන් දෙවියන් කොට සලකන ජාතිය ද දෙවිඳුන් සතු උරුමය ලෙස තේරුණු සෙනඟ ද ආසිරි ලද්දෝ ය.</verse>
				<verse number="13">හිමි තුමාණෝ සගලොව සිට නරඹන සේක; මුළු මිනිස් සංහතිය දක්නා සේක.</verse>
				<verse number="14">එතුමාණෝ සිය මන්දිරයෙහි සිට ලෝවැසි සියල්ලන් දෙස බලන සේක.</verse>
				<verse number="15">ඔවුන්ගේ සිතුවිලි හැඩ ගස්වන්නේත්, ඔවුන්ගේ ක්‍රියා කල්පනාවට ගන්නේත් එතුමාණෝ ය.</verse>
				<verse number="16">චතුරංගනි සේනා බලය නිසා ගැළවුණු රජෙක් නැත; තම වීර වික්‍රමයෙන් ගැළවීම සලසා ගත් රණ ශූරයෙක් නැත.</verse>
				<verse number="17">ස්වාරක්ෂාව පිණිස යුද්ධ අශ්වයෙකුගෙන් වැඩක් නැත; උගේ මහත් බලයෙන් ඌ කිසිවෙකු නොගළවයි.</verse>
				<verse number="18">සමිඳුන්ගේ නෙත් දේව ගරුබිය ඇත්තන් කෙරෙහි ය; මරණයෙන් ගළවන පිණිස ද</verse>
				<verse number="19">දුබික් දුරු කොට දිවි රක්නා පිණිස ද එතුමාණෝ දිවැසින් බලන සේක.</verse>
				<verse number="20">අපි හිමි තුමන් කෙරේ විශ්වාසයෙන් බලා සිටියෙමු. අපේ පිහිටත්, පලිහත් එතුමාණෝ ය.</verse>
				<verse number="21">අපි එතුමන්ගේ සුවිශුද්ධනාමය කෙරේ විශ්වාසය තැබුවෙමු. එබැවින් අපේ සිත් ප්‍රීතියෙන් පිනා යයි.</verse>
				<verse number="22">සමිඳුනි, ඔබ කෙරේ අපේ බලාපොරොත්තු පිහිටෙවු ලෙස ම ඔබේ කරුණාව අප කෙරෙහි වේ වා!</verse>
			</chapter>
			<chapter number="34">
				<verse number="1">අබිමෙලෙක් වෙතින් නෙරපනු ලැබූ පසු දාවිත් ගැයූ ගීතයකි. හැම වේලේ ම හිමි තුමන්ට මම ප්‍රශස්ති ගී ගයමි. එතුමන්ගේ ගුණ වැණුම් මා මුවින් තොර නොවෙයි.</verse>
				<verse number="2">මම එතුමන්ගේ ගුණ වර්ණනා කරමි. නිහතමානී අය ඒ අසා තොස් වෙත්වා;</verse>
				<verse number="3">මා සමඟ හිමි තුමන් වර්ණනා කරන්න; අපි එක් වී එතුමන්ගේ නාමය පසසමු.</verse>
				<verse number="4">මම හිමි තුමන් සොයා ගියෙමි; එතුමාණෝ මට පිළිතුරු දී හැම බියෙන් මා මිදූ සේක.</verse>
				<verse number="5">එතුමන් දෙස බලන්නා ප්‍රීතියෙන් බැබළෙන්නේ ය. ඔහුගේ මුහුණ කවදාවත් ලජ්ජාවෙන් අඳුරු නොවන්නේ ය.</verse>
				<verse number="6">හිමි තුමන්ට කන්නලව් කළ එක් අසරණයෙක් විය; එතුමාණෝ ඔහුගේ බස් අසා, සියලු දුක් ගැහැටවලින් ඔහු මිදූ සේක.</verse>
				<verse number="7">හිමි තුමන්ගේ දූතයා දේව බය ඇති අය වට කර, කඳවුරු බැඳ, ඔවුන් මුදා හරියි.</verse>
				<verse number="8">
					හිමි තුමන් ගුණවත් බව ඔබ ම අත්දැකීමෙන් දැනගන්න;
					එතුමන්ගේ රැකවරණය ලබන තැනැත්තේ ආසිරි ලබයි.
				</verse>
				<verse number="9">එතුමන්ගේ සැදැහැවතුනි, එතුමන්ට ගරුබිය දක්වන්න; මන්ද, දේව ගරුබිය ඇති අයට අගහිඟයක් නැත.</verse>
				<verse number="10">
					ධනපතීහු පවා කෑම නැති ව සාගින්නෙන් පෙළෙති;
					එහෙත්, හිමි තුමන් සරණ යන අයට යහපත් දෙයින් කිසි අඩුවක් නැත.
				</verse>
				<verse number="11">දරුවෙනි, මට සවන් දෙන්න. සමිඳුන්ට ගරු කිරීමට මම ඔබට උගන්වන්නෙමි.</verse>
				<verse number="12">
					සැප ජීවිතය භුක්ති විඳීමට යම් කෙනෙක් කැමැති ද?
					දිගායු වළඳා සුව සම්පත් රස විඳීමට කැමැති ද?
				</verse>
				<verse number="13">එසේ නම්, ඔහු නපුරු කතාවෙන් ද මුසාවාදයෙන් ද වැළකී සිටිය යුතු ය.</verse>
				<verse number="14">නපුර හැර දමා යහපත කරන්න; සාමය සොයා ඒ අනුව යන්න.</verse>
				<verse number="15">හිමි තුමන්ගේ දෙනෙත දමිටුන් දෙසට ද එතුමන්ගේ දෙසවන ඔවුන්ගේ කන්නලව්වට ද යොමා ඇත.</verse>
				<verse number="16">පව්කම් කරන අය පොළොවෙන් අමතක වී යන ලෙස හිමි තුමාණෝ ඔවුන්ට විරෝධය දක්වන සේක.</verse>
				<verse number="17">දැහැමි අය අයැදුම් කළහ; හිමි තුමාණෝ සවන් දී සියලු දුක් වේදනාවලින් ඔවුන් මිදූ සේක.</verse>
				<verse number="18">හිමි තුමාණෝ බිඳුණු සිත් ඇත්තන්ට ළං ව සිටින සේක; තැළුණු හදවත් ඇත්තන්ට පිහිට වන සේක.</verse>
				<verse number="19">දමිටුන්ට බොහෝ ආපදා ඇතත්, හිමි තුමාණෝ ඒ සියල්ලෙන් ඔවුන් මුදා හරින සේක.</verse>
				<verse number="20">
					එතුමාණෝ ඔවුන්ගේ ඇඟේ එක ඇටයකුදු නෑර ඔවුන් රක්නා සේක;
					ඉන් එකක් වත් බිඳෙන්න නොහරින සේක;
				</verse>
				<verse number="21">දුෂ්ටයා නපුරෙන් වැනසෙයි. දැහැමි අයට දෙස් තබන්නෝ දඬුවම් ලබන්නෝ ය.</verse>
				<verse number="22">හිමි තුමාණෝ සිය මෙහෙකරුවන් මුදන සේක. එතුමන්ගේ රැකවරණය සොයන කිසිවෙක් දඬුවම් නොලබන්නෝ ය.</verse>
			</chapter>
			<chapter number="35">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. සමිඳුනි, මාගේ විවාදකරුවන් සමඟ විවාද කළ මැනව; මා හා සටනට එන අය සමඟ සටන් කළ මැනව.</verse>
				<verse number="2">පලිහත්, මහා පලිහත් ගෙන මට පිහිට වුව මැනව.</verse>
				<verse number="3">හෙල්ලය ඇද, මා ලුහුබැඳ එන අය වළකා ලුව මැනව; ඔබ මාගේ පිළිසරණ බව මට පැවසුව මැනව.</verse>
				<verse number="4">මා වැනසීමට සොයන්නෝ ලජ්ජාවට හා නින්දාවට පැමිණෙත් වා! මා නැසුමට උපා යොදන්නෝ වියවුල් වී ආපසු යත් වා!</verse>
				<verse number="5">ඔව්හු පවනෙහි පා වන බොල් මෙන් වෙත් වා! සමිඳුන්ගේ දූතයා ඔවුන් පලවා හරී වා!</verse>
				<verse number="6">ඔවුන්ගේ මාවත අඳුරු, ලිස්සන පාරක් වේ වා! සමිඳුන්ගේ දූතයා ඔවුන් ලුහුබැඳ යේ වා!</verse>
				<verse number="7">කරුණක් නැතිව ම මා ඇල්ලීමට ඔව්හු මලපත් දැමූ හ; මා බැඳගැන්මට ගැඹුරු වළක් තැනූ හ.</verse>
				<verse number="8">නොදැනුවත්ව ම ඔව්හු විපතට යත් වා! තමන් දැමූ දැලෙහි තුමූ ම අසු වෙත් වා! තමන් කැපූ වළෙහි තුමූ ම වැටෙත් වා!</verse>
				<verse number="9">මම හිමි තුමන් ගැන ප්‍රීති ප්‍රමෝද වන්නෙමි; මා ගැළෙව්වේ හිමි තුමන් බැවින් තුටු පහටු වන්නෙමි.</verse>
				<verse number="10">මාගේ මුළු සිතින් මෙපවත් මම පවසන්නෙමි: “ඔබ වැනි උතුමෙක් මුළු ලොව ඇද් ද? ප්‍රබලයන්ගෙන් දුබලයන් රක්නා, පීඩාකරුන්ගෙන් දිළිඳුන් රැකගන්න වෙන උතුමෙක් තවත් ඇද් ද?”</verse>
				<verse number="11">අදමිටු දන නැඟී ඉදිරිපත් ව මා කිසිවක් නොදන්න අපරාධ ගැන වරද තබා සාක්කි කියති.</verse>
				<verse number="12">යහපත කළ මට ඇත්තේ නපුර පමණි; මට කිසි බලාපොරොත්තුවක් දැන් නැත.</verse>
				<verse number="13">ඔවුන් රෝගාතුර වූ දවසේ දී මම ගෝණි රෙදි ඇන්දෙමි; උපවාසයේ සිටියෙමි; සිරස නමා යාදිනි පිදුවෙමි.</verse>
				<verse number="14">මිතුරෙකු හෝ සොහොයුරෙකු හෝ ගැන මෙන් ක්‍රියා කෙළෙමි; සිය මව ගැන දුක් වන සේ දුකින් වැතිර සිටියෙමි.</verse>
				<verse number="15">එහෙත්, මා විපතට වැටුණු දිනේ ඔව්හු මා අවටින් රැස් කකා ප්‍රීති වූ හ. මා නොදත් දුදනෝ නොනැවතී මට නිගා කළහ.</verse>
				<verse number="16">මට දුක් දී සමච්චල් කොට, මා කෙරේ වෙර බැඳ දත්මිටි කෑ හ.</verse>
				<verse number="17">සමිඳුනි, මෙය දැක දැක කොපමණ කල් ඔබ බලා සිටින සේක් ද? ඔවුන්ගේ පහරවලින් මා මිදුව මැනව; මේ රුදුරු සිංහයන්ගෙන් මා දිවි රැක දුන මැනව.</verse>
				<verse number="18">එවිට මම මහා සභාවේ දී ඔබට තුති පුදන්නෙමි; විසල් ජනකායක් අබිමුව ඔබට පැසසුම් කරන්නෙමි.</verse>
				<verse number="19">
					මාගේ සතුරෝ අයුක්ති සහගත ව මාගේ දුක ගැන ප්‍රීතිමත් නොවෙත් වා!
					මාගේ දුක් ගැනවිලි ගැන බැල්මෙන් සෙනඟ කුල්මත් නොවෙත් වා!
				</verse>
				<verse number="20">සුහද කතා ඔවුන් වෙත නැත; රටේ සාමකාමී අයට එරෙහි ව ඔව්හු බොරු බේගල් ගොතති.</verse>
				<verse number="21">ඔව්හු මට විරුද්ධ ව කට අයා, “අනේ හොඳ යි! ඔබ කළ දේ අප දුටුවා”යි කියති.</verse>
				<verse number="22">සමිඳුනි, ඔබ එය දුටු සේක. නිහඬ ව නොසිටිය මැනව. මා වෙතින් ඈත් ව නොගිය මැනව.</verse>
				<verse number="23">මාගේ දෙවිඳුනි, මාගේ සමිඳුනි, මා වෙනුවෙන් ඉදිරිපත් වුව මැනව; මාගේ නඩුව අසා, යුක්තිය ඉටු කළ මැනව.</verse>
				<verse number="24">මාගේ දෙවි සමිඳුනි, ඔබ සාධාරණකම අනුව මා විනිශ්චය කළ මැනව; සතුරෝ මා ගැන කුරිරු සිතින් ප්‍රීති නොවෙත් වා!</verse>
				<verse number="25">“අපේ වැඩේ හරි”යි ඔව්හු නොකියත් වා! “අප ඔහු කා දැම්මා” කියා ඔව්හු නොකියත් වා!</verse>
				<verse number="26">මාගේ දුක ගැන හිත පුරා ප්‍රීති වන අය ලජ්ජාවට හා වියවුලට පැමිණෙත් වා! මට අපහාස කරන අය ලජ්ජාවට හා අපකීර්තියට ලක් වෙත් වා!</verse>
				<verse number="27">මා නිදහස්වීම ගැන සන්තෝෂ වන අය ප්‍රීති ඝෝෂා පවත්වමින්, යළි යළිත් මෙසේ කියත් වා! “සමිඳාණෝ උසස් වන සේක; තම මෙහෙකරුගේ ජය ගැන එතුමාණෝ ප්‍රීති වන සේක.”</verse>
				<verse number="28">එවිට මා මුවින් ඔබේ දැහැමිකම වර්ණනා කරමි; දවස පුරා ඔබ ගැන ප්‍රශස්ති ගීත ගයන්නෙමි.</verse>
			</chapter>
			<chapter number="36">
				<verse number="1">සමිඳාණන් වහන්සේගේ සේවක දාවිත්ගේ ගීතයකි. දුදනාගේ හද පත්ලෙහි පවට පෙළඹීම ඇත; ඔහු තුළ දේව ගරුබිය නැත.</verse>
				<verse number="2">සිය අයුතුකම් හෙළි වී පිළිකුල් කරනු නොලබන්නේ යැයි ඔහු තමා ම පාරට්ටු කරගනියි.</verse>
				<verse number="3">ඔහුගේ මුඛය අයුතුකම හා වංචාවෙන් පිරී ඇත; ඔහු ප්‍රඥාවට පිටුපා යහපත නොකරයි.</verse>
				<verse number="4">ඔහු යහනේ සිටින විට පවා මැරවරකම් යෝජනා කරයි; අයහපත් මඟක ම හැසිරෙයි; නපුරු කිසිවකට පිළිකුල් නොකරයි.</verse>
				<verse number="5">සමිඳුනි, ඔබේ නොනස්නා පෙම්කඳ අහස දක්වා නඟියි; ඔබේ විශ්වාසවන්තකම වලාකුළු ඉක්මවා යයි.</verse>
				<verse number="6">ඔබේ දැහැමිකම උස් කඳුවැටි හා සමාන ය; ඔබේ විනිශ්චයයෝ මහ සයුර මෙන් ගැඹුරු ය. සමිඳුනි, ඔබ මිනිසා ද මෘගයා ද රක්නා සේක.</verse>
				<verse number="7">ඔබේ නොනස්නා පෙම්කඳ කොතරම් අනගි ද? නර සුර දෙගොල්ල ම ඔබේ පියාපත් සෙවණෙහි රැකවරණය ලබති.</verse>
				<verse number="8">ඔව්හු ඔබේ මැදුරෙහි සව්සිරි සැපතින් මොනවට සතුටු වෙති; ගලා යන ඔබේ ප්‍රීති ගංගාවෙන් ඔබ ඔවුන්ට බොන්න දෙන සේක.</verse>
				<verse number="9">ජීවන උල්පත ඔබ වෙත ඇත; ඔබේ එළියෙන් අපි එළිය දකිමු.</verse>
				<verse number="10">ඔබ හඳුනන අයට ඔබේ තිර පෙම්කඳ ද අවංක සිත් ඇති අයට ඔබේ දැහැමිකම ද නොනවත්වා පෙන්නුව මැනව.</verse>
				<verse number="11">උඩඟු අය මට පහර නොදෙත් වා! නපුරු අය මා පලවා නොහරිත් වා!</verse>
				<verse number="12">දුදනෝ බිමට වැටී පෙරළී සිටිති. ඔවුන්ට තවත් නැඟිටීමක් නැත.</verse>
			</chapter>
			<chapter number="37">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. නපුර කරන අය ගැන නොකලකිරෙන්න; අදමිටුකම් කරන අයට ඊර්ෂ්‍යා නොකරන්න.</verse>
				<verse number="2">ඔව්හු තණ පත් මෙන් වියළී යති; නිල් පලා මෙන් මැලවී යති.</verse>
				<verse number="3">සමිඳුන් කෙරේ විශ්වාසය තබා යහපත කරන්න; දේශයෙහි සුව සේ වෙසෙන්න.</verse>
				<verse number="4">සමිඳුන් කෙරේ ප්‍රීතිමත් වන්න; එතුමන් ඔබේ මන දොළ ඉටු කරනු ඇත.</verse>
				<verse number="5">ඔබේ ඉරණම හිමි තුමන්ට භාර දෙන්න; එතුමන් කෙරේ විශ්වාසය තබන්න; හිමි තුමන් හැම දෙය ඉටු කර දෙනු ඇත.</verse>
				<verse number="6">හිමි තුමන් ඔබේ යහපත්කම ඉර එළිය මෙන් ද ඔබේ දැහැමිකම මද්දහන මෙන් ද බබළවන සේක.</verse>
				<verse number="7">සමිඳුන් කෙරේ රඳා, ඉවසිල්ලෙන් එතුමන්ගේ පැමිණීම බලා ඉන්න; සිය ජීවිතයෙහි දියුණු වන්නා ගැන වත්, වැරදි දේ කොට ජයගන්නා ගැන වත් ඊර්ෂ්‍යා නොකරන්න.</verse>
				<verse number="8">කෝපයෙන් වැළකෙන්න; උදහසින් ඈත් වන්න; නොකලකිරෙන්න; මේවායින් ඇති වන්නේ නපුර පමණ ය.</verse>
				<verse number="9">නපුර කරන්නෝ නෙරපා දමනු ලබන්නෝ ය. හිමි තුමන් කෙරේ විශ්වාසය තබන්නෝ දේශය හිමි කරගන්නෝ ය.</verse>
				<verse number="10">දුදනා මඳ කලකින් නැති වී යයි; ඔබ ඔහු සෙව්වත් ඔහු නැත.</verse>
				<verse number="11">
					මුදු මොළොක් සිත් ඇත්තෝ දේශය හිමි කරගනිති;
					ඔව්හු සව්සිරි වින්දනය කරති.
				</verse>
				<verse number="12">දුදනා සුදනාට එරෙහි ව උපා යොදයි; ඔහුට විරුද්ධ ව දත්මිටි කයි.</verse>
				<verse number="13">සමිඳාණෝ ඔහු ගැන සිනාසෙන සේක; ඔහුගේ අවසානය ළඟ බව දන්න සේක.</verse>
				<verse number="14">දුගී දුප්පතුන් හෙළා දමන පිණිස ද අවංක අය වනසන පිණිස ද දුදනෝ කඩුව ඇද, දුන්න තැත් කවාගෙන සිටිති.</verse>
				<verse number="15">එහෙත්, ඔවුන්ගේ කඩුපත ඔවුන්ගේ ම හදවත තුවාළ කරයි; ඔවුන්ගේ දුන්න බිඳ දමනු ලැබේ.</verse>
				<verse number="16">දුදනන් සතු වස්තු රැසකට වඩා සුදනා සතු වස්තු බිඳක් යහපත.</verse>
				<verse number="17">දුදනන්ගේ බාහු බලය බිඳ දමනු ඇත. එහෙත් හිමි තුමන් සුදනන් හට පිහිට වනු ඇත.</verse>
				<verse number="18">හිමි තුමාණෝ සැදැහැවතුන් දිනෙන් දින රැකගනිති; ඔවුන්ගේ උරුමය සදහට ම පවතියි.</verse>
				<verse number="19">විපත් සමයේ දී ඔවුන්ට විපතක් නැත; සාගත සමයේ දී ඔවුන්ට හිඟයක් නැත.</verse>
				<verse number="20">එහෙත්, දුදනෝ වැනසෙති; හිමි තුමන්ගේ සතුරෝ වන මල් මෙන් මිය යති; දුම මෙන් පහවෙති.</verse>
				<verse number="21">දුදනෝ ණය ගෙන යළි නොගෙවති; සුදනෝ කාරුණික ය, ත්‍යාගශීලී ය.</verse>
				<verse number="22">හිමි තුමන්ගෙන් ආසිරි ලද්දෝ දේශයෙහි යෙහෙන් වැජඹෙති; දේව සාපය ලද්දෝ රටෙන් නෙරපනු ලබති.</verse>
				<verse number="23">සමිඳාණෝ මිනිසෙකුගේ දිවි මඟ හසුරුවන සේක; ඔහුගේ ක්‍රියා කලාපය ගැන සතුටු වන සේක.</verse>
				<verse number="24">ඔහු වැටුණත් වැටී ම නොසිටියි; සමිඳාණෝ සිය’තින් ඔහු නැඟුටුවන සේක.</verse>
				<verse number="25">මම දැන් යොවුන් විය ගෙවා මහලු ව සිටිමි; සමිඳුන් සුදනෙකු අත්හළ බව වත්, ඔහුගේ දූදරුවන් සිඟමනේ ගිය බව වත් කිසි දා නුදුටිමි.</verse>
				<verse number="26">දවස දෙවේලේ ඔහු නොමසුරු ව ණයට දෙයි; ඔහුගේ දරු පරපුර රටට ආසිරියකි.</verse>
				<verse number="27">නපුර දුරු කොට යහපත කරන්න. තිර කල් යෙහෙන් වැජඹෙනු ඇත.</verse>
				<verse number="28">හිමි තුමාණෝ යුක්තියට ප්‍රිය මනාප ය; සිය සැදැහැවතුන් අත් නොහරිති. ඔව්හු සදහට ම රැකවරණය ලබති. එහෙත්, දුදනන්ගේ පරපුර වැනසෙති.</verse>
				<verse number="29">දැහැමියෝ දේශය හිමි කරගන්නෝ ය. එහි සදහට ම යෙහෙන් වසන්නෝ ය.</verse>
				<verse number="30">දැහැමියන්ගේ මුවින් නැණ නුවණ නික්මෙයි; ඔව්හු යුක්ති සහගත දෙය ම පවසති.</verse>
				<verse number="31">ඔව්හු දේව අණසක හදවතෙහි නිදන් කරති; ඒවා නොපිරිහෙළා රැකගනිති.</verse>
				<verse number="32">දුදනා සුදනාගේ වගතුග සොයා, බලා හිඳ, ඔහු මැරීමට සොයයි.</verse>
				<verse number="33">එහෙත්, සමිඳාණෝ දුදනාගේ අතට ඔහු අත් නාරින සේක; ඔහු උසාවියට ගෙන ගියත්, වරදට පත් නොකරන සේක.</verse>
				<verse number="34">සමිඳුන් කෙරේ බලාපොරොත්තුව රඳවා, එතුමන්ගේ අණපණත් රක්ෂා කරන්න; දේශය ඔබට හිමි වන පිණිස එතුමන් ඔබ උසස් කරනු ඇත; දුදනන් වැනසෙන හැටි ඔබේ ඇසින් ඔබ දකිනු ඇත.</verse>
				<verse number="35">දුෂ්ටයා දැඩි කුරිරු නායකයෙකු වී, ලෙබනොන්හි දේවදාර රුකක් මෙන් සශ්‍රීක ව වැඩෙනු බලා සිටියෙමි.</verse>
				<verse number="36">එහෙත්, කලකට පසු මම ඔහු වෙත ගියෙමි; ඔහු සිටියේ නැත. ඔහු සෙවීමි; එහෙත්, සම්බ වූයේ නැත.</verse>
				<verse number="37">නිදොස් තැනැත්තෙකු සොයන්න; අවංක කෙනෙකු දෙස බලන්න; ඔහුට නම්, සාමකාමී අනාගතයක් ඇත.</verse>
				<verse number="38">අපරාධකරුවෝ එක ගොඩේ විනාශ කරනු ලබති; දුදනන්ගේ පරපුර වැනසී නිම වෙයි.</verse>
				<verse number="39">හිමි තුමාණෝ දැහැමියන් ගළවන සේක. විපතේ දී ඔවුන්ට බලකොටුවක් වන සේක.</verse>
				<verse number="40">හිමි තුමාණෝ ඔවුන්ට පිහිට වී ඔවුන් මුදන සේක. සිය සරණ සොයා එන ඔවුන් එතුමාණෝ දුදනන්ගෙන් මුදා ලන සේක.</verse>
			</chapter>
			<chapter number="38">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. සිහි කරවීමටයි. සමිඳුනි, උදහස් වී මට තරවටු නොකළ මැනව; කෝපයෙන් ඇවිළී මට දඬුවම් නුදුන මැනව.</verse>
				<verse number="2">ඔබ ඊගසින් විද මට තුවාළ කොට ඇත; බලවත් ලෙස මා තළා පෙළා ඇත.</verse>
				<verse number="3">ඔබේ උදහස නිසා මම දහ දුක් විඳිමි; මාගේ පව් නිසා සර්වාංගය රෝගී වී ඇත.</verse>
				<verse number="4">මාගේ අයුතුකම් මාගේ හිසටත් උඩින් නැඟී ඇත; ඒවා දැරිය නොහැකි බරක් වී ඇත.</verse>
				<verse number="5">මාගේ මෝඩකම් හේතුකොටගෙන මාගේ තුවාළ දුර්ගන්ධ ව, පිළිකුල් ව ඇත.</verse>
				<verse number="6">වේදනා විඳිමින්, කුදුගැසී වැතිර සිටිමි. දවස පුරා වැලපෙමින් කල් යවමි.</verse>
				<verse number="7">උණෙන් මාගේ තුනටිය දැවෙයි. මාගේ ඇඟපතට කිසි සුවයක් නැත.</verse>
				<verse number="8">මම තෙහෙට්ටු වී දැඩි ලෙස තැළී පෙළී සිටිමි; සිතේ කරදර නිසා මම කෙඳිරිගාමි.</verse>
				<verse number="9">සමිඳුනි, මාගේ මුළු ආශාව ඔබ දන්න සේක; මාගේ සුසුම්ලෑම ඔබට ඇසේ.</verse>
				<verse number="10">මාගේ පපුව ගැහෙයි; කාය ශක්තිය හීන වේගන යයි; ඇස් ද ඇඳිරි වේගන යයි.</verse>
				<verse number="11">අසල්වැසියෝ ද හිත මිතුරෝ ද මාගේ තුවාළවල දුගඳ නිසා ඈත් වී සිටිති; මාගේ පවුලේ උදවිය ද මා ළඟට එන්නේ නැත.</verse>
				<verse number="12">මා මැරීමට සොයන අය මට උගුල් අටවා ඇත; මට අනතුරු කරන්න සොයන අය නපුරු දේ කිය කියා දවස පුරා කූට උපා යොදති.</verse>
				<verse number="13">බිහිරෙකුට මෙන් මට ඇසෙන්නේ නැත; ගොළුවෙකුට මෙන් මට කතා ශක්තිය නැත.</verse>
				<verse number="14">මට කන් නොඇසෙන නිසා මම පිළිතුරු දිය නොහැකි මිනිසෙකු හා සමාන ය.</verse>
				<verse number="15">සමිඳුනි, මාගේ විශ්වාසය ඔබ කෙරෙහි ය. මාගේ දෙවි සමිඳුනි, ඔබ මට පිළිතුරු දෙනු නියත ය.</verse>
				<verse number="16">මාගේ දුක ගැන ප්‍රීති වන්නට සතුරන්ට ඉඩ නුදුන මැනව; මාගේ වැටීම ගැන උදන් ඇනීමට ද ඉඩ නුදුන මැනව.</verse>
				<verse number="17">මාගේ වැටීම ඉතා ළඟ ය; මාගේ වේදනාවට කෙළවරක් නැත.</verse>
				<verse number="18">මම පාපය ගැන උච්චාරණය කරමි; ඒ ගැන ළතැවෙමි.</verse>
				<verse number="19">මාගේ සතුරෝ සනීප ශක්තියෙන් සිටිති; නිකරුණේ මට වෙර බඳින අය වැඩි වේගන එති.</verse>
				<verse number="20">යහපතට නපුර කරන අය, මා හරි දේ කරන බැවින් මට සතුරු වී සිටිති.</verse>
				<verse number="21">සමිඳුනි, මා අත්නෑරිය මැනව. මාගේ දෙවියෙනි, මා කෙරෙන් ඈත් නොවුව මැනව.</verse>
				<verse number="22">මාගේ ගැළවුම්කාර සමිඳුනි, මට පිහිට වන පිණිස වහා වැඩිය මැනව.</verse>
			</chapter>
			<chapter number="39">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. මම මෙසේ පැවසීමි: “වචනයෙන් පව් නොකරන පිණිස හැසිරීම ගැන ප්‍රවේසම් වෙමි; දුදනන් මා අබිමුව සිටිය දී කට රැකගනිමි.”</verse>
				<verse number="2">මම වචනයක් වත් නොකීමි; හොඳ දෙයක් කීමෙන් පවා වැළකුණෙමි. එහෙත්, මාගේ ශෝකය තවත් උග්‍ර විය;</verse>
				<verse number="3">මාගේ සිත කාංසාවෙන් දෙදරා ගියේ ය; සිතන්න සිතන්න, වැඩි වැඩියෙන් මම කැළඹුණෙමි. තවත් නිහඬ ව සිටීමට බැරි විට, මෙසේ ප්‍රශ්න නොකිරීමට මට බැරි විය:</verse>
				<verse number="4">“සමිඳුනි, මාගේ අවසානය කවදා එයි ද? මාගේ ආයු ප්‍රමාණය කොතරම් ද? මා කොතරම් බෙලහීන දැ යි දැනගැනීමට මට සැලසුව මැනව.”</verse>
				<verse number="5">අනේ, ඔබ මාගේ වයස කෙටි කර තිබෙන හැටි! ඔබ අබිමුව මාගේ ජීවිතයෙන් වැඩක් ඇද් ද? දිවි ඇති හැම දෙන සුළං රොදක් වැනි ය.</verse>
				<verse number="6">හැම මිනිසා ම සෙවණැල්ලක් වැනි ය; ඔහු කොයි දේ කළත් එය නිෂ්ඵල ය. ඔහු වස්තු රැස් කරතත්, ඒවා කාට හිමි වේ දැ යි නොදනියි.</verse>
				<verse number="7">සමිඳුනි, මට කවර බලාපොරොත්තුවක් ඇද් ද? මාගේ බලාපොරොත්තුව ඔබ කෙරෙහි ය.</verse>
				<verse number="8">මාගේ සියලු පවින් මා මිදුව මැනව. අනුවණයෝ මට සමච්චල් නොකරත් වා.</verse>
				<verse number="9">ඔබ මට මෙසේ දුක් දුන් නිසා මම නිහඬ වීමි; කට පියාගෙන සිටියෙමි.</verse>
				<verse number="10">ඔබ මට තවත් දඬුවම් නොකළ මැනව. ඔබ දුන් පහරවලින් මා මැරෙන්න ආසන්න ය.</verse>
				<verse number="11">ඔබේ තරවටුවෙන් ඔබ මිනිස් පවට දඬුවම් දෙන සේක; කාවෙකු කා දමන සේ ඔබ ඔහු රිසි දෙය වනසා ලන සේක. මිනිසා නම්, සුළං රොදක් පමණ ය.</verse>
				<verse number="12">සමිඳුනි, මාගේ අයැදුම ඇසුව මැනව; මාගේ මොරගෑමට සවන් දුන මැනව; මාගේ කඳුළු දැක නිහඬ ව නොසිටිය මැනව. මන්ද, ඔබ සමඟ ආගන්තුකයෙක් ද මාගේ පියවරුන් මෙන් කලක් නේවාසිකයෙක් ද වෙමි.</verse>
				<verse number="13">මා මෙලොවින් චුත වී, නැති වී යන්නට පෙර, මඳ කලකට ප්‍රීති වන පිණිස මට ඉඩ සැලසුව මැනව.</verse>
			</chapter>
			<chapter number="40">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. මම ඉවසිල්ලෙන් හිමි තුමන් ගැන බලාපොරොත්තුවෙන් සිටියෙමි, හිමි තුමාණෝ මාගේ දුක් ගැනවිලිවලට සවන් දුන් සේක.</verse>
				<verse number="2">හිමි තුමාණෝ මා බියකරු වළකින්, මඩ වළකින් ගොඩට ගෙන, පර්වතයක් මත පිහිටුවා, මා සුරක්ෂිත කළ සේක.</verse>
				<verse number="3">දෙවිඳුන් හට තුති පවසන, නව ගීයක් මා මුවේ තැබූ සේක. මෙය දැක බොහෝ දෙනෙකු ගරුබියෙන් ඇලළී, සමිඳුන් කෙරේ අදහනු ඇත.</verse>
				<verse number="4">පිළිම රූප නොනමදින, බොරු දෙවිවරුන් නොඅදහන, සමිඳුන් කෙරෙහි අදහන තැනැත්තේ ආසිරි ලද්දෙකි.</verse>
				<verse number="5">දෙවි සමිඳුනි, ඔබ අප උදෙසා කර ඇති හාස්කම් කොපමණ ද? ඔබ අප උදෙසා අදහස් කළ දේ කොපමණ ද? ඔබට සම අන් කෙනෙක් සිටී ද? ඒ සියල්ල පවසා නිම කරන්නට කිසි දා මට බැරි ය. ඒවායේ ගණන ඉමහත් ය.</verse>
				<verse number="6">
					ඔබ පුද පඬුරට ප්‍රසන්න නැත;
					දවන යාග පූජා හා පාප පූජාවලින් ඔබට වැඩක් නැත. ඒ වෙනුවට ඔබ වදන් අසන පිණිස මාගේ දෙසවන දුන් සේක.
				</verse>
				<verse number="7">එවිට මම, “මෙන්න, මම මෙහි ය”යි කීවෙමි. “මා පිළිබඳ අණපණත් ඔබේ ව්‍යවස්ථාවලියෙහි ලියා ඇත.</verse>
				<verse number="8">මාගේ දෙවියෙනි, ඔබේ කැමැත්තට ප්‍රිය වෙමි, ඔබේ නීති මසිතෙහි නිදන් කරගතිමි.”</verse>
				<verse number="9">සමිඳුනි, ඔබට වඳින පිරිස් මැද, ඔබේ ගැළවීමේ ක්‍රියා වර්ණනා කෙළෙමි. නොනවත්වා එය තවත් වර්ණනා කරන බව ඔබ දන්න සේක.</verse>
				<verse number="10">ඔබ දෙන ගැළවීම සිතෙහි රඳවා නිකම් නොසිටියෙමි; ඔබේ ගැළවීම හා විශ්වාසවන්තකම ප්‍රකාශ කෙළෙමි; මහ පිරිස් මැද ඔබේ කරුණාව ද විශ්වාසවන්තකම ද නොවළහා දන්වා සිටියෙමි.</verse>
				<verse number="11">සමිඳුනි, ඔබේ දයානුකම්පාව මා කෙරෙන් නොවැළැක්වුව මැනව. ඔබේ කරුණාව හා විශ්වාසවන්තකම නිරතුරු මා රකීවා.</verse>
				<verse number="12">මම දහස් ගණන් උවදුරින් වට වී සිටිමි. හිස එසවීමට බැරි තරම් මාගේ පව් මා පිට පැමිණ ඇත. ඒවා මාගේ හිසකේවලට වඩා වැඩි ය. මාගේ සිතට දිරියක් නැත.</verse>
				<verse number="13">සමිඳුනි, මා මුදාගත මැනව. අහෝ සමිඳුනි, මට සහාය වීමට කඩිනම් කළ මැනව.</verse>
				<verse number="14">මා නැසීමට සොයන්නෝ ලජ්ජා වී, වියවුල් වෙත්වා. මාගේ විනාශයට ආශා වූවෝ පසු බැස අපකීර්තියට පැමිණෙත් වා!</verse>
				<verse number="15">හහා! හහා! කියමින් මට සමච්චල් කරන්නෝ මෙවන් නින්දාව නිසා පසු බසිත් වා!</verse>
				<verse number="16">ඔබ සොයා එන්නෝ ප්‍රීති ප්‍රමෝද වී සතුටු වෙත් වා! ඔබේ විමුක්තියට ප්‍රේම කරන්නෝ “හිමි තුමෝ ශ්‍රේෂ්ඨ ය”යි නිරතුරු කියත් වා!</verse>
				<verse number="17">මම දුගියෙක්මි, දිළිඳෙක්මි, එහෙත්, හිමි තුමාණෝ මා සිහි කරන සේක. ඔබ මාගේ පිළිසරණ ය; ඔබ මාගේ මිදුම්කරු ය. මාගේ දෙවියෙනි, පමා නොවී වැඩිය මැනව.</verse>
			</chapter>
			<chapter number="41">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. දිළින්දා සලකන්නා ආසිරි ලද්දේ ය. ඔහුගේ විපතින් සමිඳාණෝ ඔහු මුදන සේක.</verse>
				<verse number="2">සමිඳාණෝ ඔහු රක්නා සේක; ඔහුට රැකවරණය දෙන සේක; මිහි මත ඔහුට ආසිරි දෙන සේක; සමිඳාණෝ සතුරන් අතට ඔහු පාවා නොදෙන සේක.</verse>
				<verse number="3">ලෙඩ ඇඳේ සිටින විට සමිඳාණෝ ඔහුට පිහිට වන සේක; රෝගාතුර ව සිටින විට සුවය දෙන සේක.</verse>
				<verse number="4">“සමිඳුනි, මට කරුණා කළ මැනව; ඔබට විරුද්ධ ව පව් කෙළෙමි, මෙමා සුව කළ මැනව”යි මම පවසමි.</verse>
				<verse number="5">“ඔය මිනිසා කවදා මැරේ ද? කවදා ඔහුගේ නාමය මැකී යන්නේ දැ”යි මාගේ සතුරෝ මා ගැන අවලාද කියති.</verse>
				<verse number="6">මා බලන්න එන අය අවංක නැත. ඔවුහු මා ගැන කිව හැකි නපුරු දේ රැස් කරගනිති; පිටත ගොස් හැම තැන ම ඒවා පළ කරති.</verse>
				<verse number="7">මට වෛර කරන්නෝ මට විරුද්ධ ව රහස් කියති; මා වැනසීමට රහසින් උපා යොදති.</verse>
				<verse number="8">“අසාධ්‍ය ලෙඩක් ඔහුට වැළඳී ඇත. කවදාවත් ඇඳෙන් නොබසිනු ඇතැ”යි ඔවුහු පවසති.</verse>
				<verse number="9">
					මාගේ හොඳ ම විශ්වාසය දිනාගත් යහළුවා, එක පිඟානෙන් බත් කෑ කල්‍යාණ මිත්‍රයා පවා මට එරෙහි ව සතුරුකම් කෙළේ ය.
				</verse>
				<verse number="10">මාගේ සතුරන්ට යස පාඩමක් උගන්වන පිණිස සමිඳුනි, මට කරුණා කළ මැනව; ලෙඩ ඇඳෙන් මා නැඟිටවුව මැනව.</verse>
				<verse number="11">ඔවුන්ට ජය අත් නොවන විට ඔබ මා කෙරෙහි ප්‍රිය බව මම දනිමි.</verse>
				<verse number="12">මා හරි දේ ඉටු කරන බැවින් ඔබ මට පිහිට වන සේක; සදහට ම ඔබ අබිමුව මා තබාගන්න සේක.</verse>
				<verse number="13">
					ඉශ්රායෙල් ජනතාවගේ දෙවි සමිඳුන් හට ප්‍රශංසා වේ වා!
					සදාකාලයෙන් සදාකාලයට ම ප්‍රශංසා වේ වා! ආමෙන්, ආමෙන්.
				</verse>
			</chapter>
			<chapter number="42">
				<verse number="1">කෝරාගේ පුත්‍රයන්ටයි. දෙවියෙනි, මුවා සිසිල් දිය දහරට ලොල් වන සේ ඔබ කෙරෙහි මට තද පිපාසයක් ඇත.</verse>
				<verse number="2">දෙවිඳුන් කෙරෙහි, ජීවමාන දෙවිඳුන් කෙරෙහි, මාගේ සිත පිපාසා වන්නේ ය. මම කවදා අවුත් දෙවිඳුන් ඉදිරියේ පෙනී සිටිම් ද?</verse>
				<verse number="3">‘ඔබේ දෙවියෝ කොහේ ද’ කියා දවස පුරා මිනිසුන් මට කියන කල මම දිවා රෑ දෙක්හි කඳුළු වගුරුවමි.</verse>
				<verse number="4">බැති පෙමින් කුල්මත් වූ වන්දනාකරුවන් සමඟ පැසසුම් ගී ගයමින්, මහ පිරිස් මැද දෙව් මැදුරට මා ගිය හැටි සිහි වන විට මා හද දෙදරා යයි.</verse>
				<verse number="5">ඇයි මා මෙසේ දුක් සයුරේ කිමිදෙන්නේ? ඇයි මා මෙසේ කෙඳිරිගාමින් ළතවන්නේ? දෙවි තුමන් ගැන බලා සිටිමි. මාගේ දෙවිඳුන් හට, මිදුම්කරුන් හට, යළිත් මෙ මම් පැසසුම් දෙමි.</verse>
				<verse number="6">මාගේ දෙවියෙනි, මාගේ හදවත දෙදරා යන්න ළඟ ය, එබැවින් මවු බිමෙන් ඈත, ජොර්දාන් ගංතෙර ද හෙර්මොන් කඳුකරයෙහි ද මිශාර් කන්දෙහි ද සිට මම ඔබ සිහි කරමි.</verse>
				<verse number="7">ඔබේ දිය ඇලිවල ඝෝෂාවෙන් කැළඹී, මම ගැඹුරෙන් ගැඹුරට කිඳා බසිමි. ඔබේ රළ පතර මා වසාගෙන ඇත.</verse>
				<verse number="8">එබැවින් හිමි තුමාණෝ සිය තිර පෙම් කඳ දිවා භාගයේ දී මට දක්වන සේක් වා! රෑ යාමවල දී එතුමන්ට මසිතෙහි නඟින ගීය මට දිවි දෙන දෙවිඳුන් හට යැදුමක් වේ වා!</verse>
				<verse number="9">මා රක්නා දෙවිඳුන් හට මම මෙසේ කියමි: “ඔබ මා අමතක කෙළේ මන් ද? සතුරාගෙන් පීඩා විඳ විලාප කීමට මට ඉඩ හැරියේ මන් ද?”</verse>
				<verse number="10">මාගේ සතුරෝ, ‘ඔබේ දෙවියෝ කොහේ දැ’යි නිරතුරු කියමින්, කඩුපතින් ඇන මාගේ ඉල ඇට කඩන්නාක් මෙන් නිගා කරති.</verse>
				<verse number="11">ඇයි මා මෙසේ දුක් සයුරේ කිමිදෙන්නේ? ඇයි මා මෙසේ කෙඳිරිගාමින් ළතවන්නේ? දෙවි තුමන් ගැන බලා සිටිමි. මාගේ දෙවිඳුන් හට, මිදුම්කරුන් හට, යළිත් මෙ මම් පැසසුම් දෙමි.</verse>
			</chapter>
			<chapter number="43">
				<verse number="1">දෙවිඳුනි, අභක්තික සෙනඟට එරෙහි ව, මා වෙනුවෙන් කරුණු කියා මා නිදහස් කළ මැනව. කපටි, අසාධාරණ මිනිසුන්ගෙන් මා මුදාගත මැනව.</verse>
				<verse number="2">මාගේ ආරක්ෂාකරු ඔබ ය; මා අත් හැරියේ මන් ද? සතුරාගෙන් පීඩා විඳ විලාප කීමට මට ඉඩ හැරියේ මන් ද?</verse>
				<verse number="3">ඔබේ ආලෝකය හා සත්‍යය මට දුන මැනව; ඒවායින් මට මඟපෙන්වීම ලැබී, ඔබේ ශුද්ධ සියොන් පව්වට ආපසු ගොස්, ඔබේ වාසභවනය වන දෙව් මැදුරට පිවිසීමට මට ලැබේවා.</verse>
				<verse number="4">දෙවියෙනි, මාගේ දෙවියෙනි, එවිට මම දිව්‍ය පූජාසනය වෙත, මාගේ පස්වණක් ප්‍රීතිය වන දෙවිඳුන් වෙත ගොස් වීණා වාදනයෙන් ඔබ පසසන්නෙමි.</verse>
				<verse number="5">ඇයි මා මෙසේ දුක් සයුරේ කිමිදෙන්නේ? ඇයි මා මෙසේ කෙඳිරිගාමින් ළතවන්නේ? දෙවි තුමන් ගැන බලා සිටිමි. මාගේ දෙවිඳුන් හට, මිදුම්කරුන් හට යළිත් මෙ මම් පැසසුම් දෙමි.</verse>
			</chapter>
			<chapter number="44">
				<verse number="1">කෝරාගේ පුත්‍රයන්ටයි. අනුශාසනාවකි. දෙවිඳුනි, ඈත අතීතයේ දී ඔබ කළ උදාර ක්‍රියා අපේ ම කනින් අප අසා ඇත; අපේ පියවරුන් ඒවා අපට කියා ඇත.</verse>
				<verse number="2">ඔබේ බාහු බලයෙන් මිසදිටු ජාතීන් පලවා හැර, ඔබේ සෙනඟ ඔබ එහි වාසය කරවූ සේක; විජාතීන්ට පහර දී ඔබේ ම සෙනඟට සව්සිරි සැපත දුන් සේක.</verse>
				<verse number="3">ඔබේ සෙනඟ සතුරන් පරදා ජය කෙහෙලි නැංවූයේ, තමන්ගේ ම කඩු පහරින් හෝ බාහු බලයෙන් හෝ නොවේ; එසේ වූයේ, ඔබ ඔවුන්ට ප්‍රේම කළ නිසා ඔබේ ම සුරතිනි, බාහු බලයෙනි; ඔබ සහතික ලෙස ඔවුන් සමඟ වැඩ සිටි බැවිනි.</verse>
				<verse number="4">ඔබ මාගේ රජිඳාණෝ ය; ඔබ මාගේ දෙවිඳාණෝ ය. ඔබේ අණ පරිදි ඔබ සෙනඟට ජය සිරි අත් කර දෙන සේක.</verse>
				<verse number="5">ඔබේ බලයෙන් අපි අපේ සතුරන් පරදාලමු; ඔබේ නාමයේ අනුහසින් අපේ රුපුන් පාගා දමමු.</verse>
				<verse number="6">මාගේ දුන්න කෙරෙහි විශ්වාසය නොතබමි. මට විමුක්තිය එන්නේ මාගේ කඩුපතින් නොවේ.</verse>
				<verse number="7">ඔබ අපේ එදිරිකරුවන්ගෙන් අප ගැළෙවු සේක; අපට වෙර බඳින අය පලවා හැරිය සේක.</verse>
				<verse number="8">දවස පුරා අපි ඔබ පසසමු; සදහට ම අපි ඔබට තුති දෙමු.</verse>
				<verse number="9">එහෙත් දෙවියෙනි, දැන් ඔබ අප හැර දමා පරාජයට පමුණුවා ඇත. අපේ යුද හමුදා සමඟ ඔබ තවත් නොවඩින සේක.</verse>
				<verse number="10">සතුරන්ට බිය වී පලා යාමට ඔබ අපට සැලැසූ සේක. සතුරෝ අපේ රට කොල්ලකාගත්හ.</verse>
				<verse number="11">මරණයට නියම වූ බැටළුවන් මෙන් ඔබ අප මරණයට නියම කළ සේක; විජාතීන් අතරට අප විසුරුවා හැරිය සේක;</verse>
				<verse number="12">ඔබ අප තඹ දොයිතුවට විකුණු සේක; ඒ වෙළඳාමෙන් කිසි ලාභයක් නොගත් සේක.</verse>
				<verse number="13">ඔබ අප, අසල්වැසියන්ට සරදමක් ද අප අවට සිටින කොයි කාටත් අපහාසයක් හා අවමානයක් ද වන්නට සලසා ඇත.</verse>
				<verse number="14">ඔබ අප විජාතීන් අතර නින්දාවක් ද මිනිසුන් අතර සමච්චලයක් ද වන්නට සලසා ඇත.</verse>
				<verse number="15">මම හැම විට ම අපකීර්තියට පත් වී සිටිමි; මම ලජ්ජාවෙන් මුහුණ වසාගෙන සිටිමි.</verse>
				<verse number="16">එසේ වන්නේ, සතුරන්ගෙන් ද නින්දාකරුවන්ගෙන් ද මට අගෞරවය ලැබෙන බැවිනි.</verse>
				<verse number="17">මේ සියල්ල අපට පැමිණි බව ඇත්ත ය; එහෙත් අපි, ඔබ අමතක නොකෙළෙමු; ඔබ සමඟ කළ අපේ ගිවිසුම කඩ නොකෙළෙමු.</verse>
				<verse number="18">අපි ඔබට අපක්ෂපාත නොවීමු; ඔබේ ආඥා කඩ නොකෙළෙමු.</verse>
				<verse number="19">එහෙත්, ඔබ අප වන සතුන් අතර අනාථ කළ සේක; තිත්ත කළුවරෙහි අප අත්හළ සේක.</verse>
				<verse number="20">ඉතින් අපි, අපේ දෙවිඳුන් අමතක කෙළෙමු නම්, අන් දෙවියෙකුට යාච්ඤා කෙළෙමු නම්,</verse>
				<verse number="21">ඔබ එය දැනගන්නේ නැද් ද? මන්ද, මිනිස් සිතේ සියලු රහස් ඔබ දන්න සේක.</verse>
				<verse number="22">
					දවස පුරා අපි ඔබ නිසා මරනු ලබමු;
					මැරීමට නියම බැටළුවන් මෙන් ගණන්ගනු ලබමු.
				</verse>
				<verse number="23">සමිඳුනි, පිබිදුණ මැනව! ඔබ නිදා ඉන්නේ මන් ද? නැඟුටුණු මැනව; සදහට ම අප ඉවත නොදැමුව මැනව.</verse>
				<verse number="24">ඔබ අප කෙරෙන් සැඟවී ඉන්නේ මන් ද? අපේ විපත හා පීඩාව අමතක කරන්නේ මන් ද?</verse>
				<verse number="25">අප පොළොවේ ධූලිවලට යට වී ඇත. සිරුර පොළොවේ ඇද වැටී ඇත.</verse>
				<verse number="26">නැඟිට, අපට පිහිට දුන මැනව. ඔබේ තිර පෙම්කඳ නිසා අප මිදුව මැනව.</verse>
			</chapter>
			<chapter number="45">
				<verse number="1">කෝරාගේ පුත්‍රයන්ටයි. අනුශාසනාවක් වන, ප්‍රේමවන්තියන් ගැන සෑදූ ගීතිකාවකි. රජිඳුන් උදෙසා මේ කාව්‍යය රචනා කරමි. එවිට මාගේ සිත විසිතුරු තේමාවකින් පිබිදෙයි. මාගේ දිව දක්ෂ ලේඛකයෙකුගේ පන්හිඳ වැනි ය.</verse>
				<verse number="2">රජිඳුනි, ඔබ මෙන් රූපසම්පන්න කෙනෙක් මිනිසුන් අතර තවත් නැත. ඔබ ව්‍යක්ත කථිකයෙකි, දෙවි තුමාණෝ ඔබට සැම දා ආසිරි දුන් සේක.</verse>
				<verse number="3">ප්‍රතාපවත් නිරිඳුනි, ඔබේ මඟුල් කඩුව ඉඟටියෙහි බැඳගන්න; ඔබ වික්‍රමාන්විත ය; තේජාන්විත ය.</verse>
				<verse number="4">සත්‍යය හා යුක්තිය රක්නා පිණිස මංගල රථයෙන් තේජසින් ජය බිම් බලා වැඩිය මැනව; ඔබේ බාහු බලයෙන් ඔබ උදුල ජය කෙහෙලි නංවනු ඇත.</verse>
				<verse number="5">ඔබේ ඊගස් තියුණු ය; ඒවා ඔබේ රුපුන් හදවත් විදගෙන යයි. විජාතීහු පැරදී ඔබ පාමුල වැටෙති.</verse>
				<verse number="6">
					ඔබේ සිහසුන දෙවි සිහසුන මෙන් සදා වැජඹෙනු ඇත.
					ඔබේ රජයේ ජයකොන්තය සාධාරණකමේ ජයකොන්තයකි.
				</verse>
				<verse number="7">ඔබ යුක්තියට ප්‍රේම කොට, අයුක්තියට ද්වේෂ කරයි. එබැවින් දෙවිඳුන්, ඔබේ දෙවිඳුන්, ඔබ තෝරාගෙන අන් හැමට වඩා ඔබට සව්සිරි දී ඇත.</verse>
				<verse number="8">ඔබේ රාජකීය වස්ත්‍රවලින් සඳුන්, කපුරු, කස්තුරි සුවඳ විහිදෙයි. ඇත්දත් මාලිගාවල සංගීතකරුවෝ ඔබ මන පිනවති.</verse>
				<verse number="9">ඔබේ කුලකතුන් අතර රජ කුමරියෝ ඇත. ඕපීර්හි රන් අබරණින් සැරසුණු ඔබේ අග රැජින ඔබ සිහසුනේ දකුණු පසින් වැජඹෙන්නී ය.</verse>
				<verse number="10">දියණියනි, මා වදනට සවන් දෙන්න; ඒවා සිතට ගන්න. ඔබේ ජාතිය, ඔබේ ගම රට සිතින් අමතක කරන්න.</verse>
				<verse number="11">එවිට නිරිඳු ඔබේ රූ සපුවට ප්‍රිය වනු ඇත; ඔහු ඔබේ ස්වාමියා ය, ඔහුට අවනත වන්න.</verse>
				<verse number="12">තීර්හි වැසියන් පඬුරු රැගෙන ඔබ වෙත එනු ඇත.</verse>
				<verse number="13">මාලිගයෙහි රාජ දියණිය, රාජ තේජසින් වැජඹෙන්නී ය. ඇගේ සළුව රන්කමින් විසිතුරු කොට ඇත.</verse>
				<verse number="14">මල්කම් හා ලියකම් කළ සළුවෙන් සැරසී, ඈ රජු වෙත එන්නී ය. ඇගේ යෙහෙළියෝ ද රජු වෙත ගෙනෙනු ලබන්නෝ ය.</verse>
				<verse number="15">සිත් සතොසින් ඇලළී ඔව්හු රජ මැදුරට පිවිසෙති.</verse>
				<verse number="16">නිරිඳුනි, ඔබේ පිය රජුන් වෙනුවට, ඔබට පුත් කුමරුවෝ රැසක් ඇති වන්නෝ ය. ඔබ ඔවුන් මුළු පොළොවෙහි මහීපාලයන් කරන්නෙහි ය.</verse>
				<verse number="17">මම ඔබේ යසස, සියලු පරපුරට සිහි කරවන්නෙමි. සව් සත සදා ඔබට පසස් ගී ගයන්නෝ ය.</verse>
			</chapter>
			<chapter number="46">
				<verse number="1">කෝරාගේ පුත්‍රයන්ට යි. දෙවිඳාණෝ අපේ ශක්තිය හා සරණ වන සේක; හැම දා විපතේ දී අප හට පිළිසරණක් වන සේක.</verse>
				<verse number="2">මහ පොළොව කම්පා වෙතත්, කඳු වැටි මහ මුහුදට කඩා වැටෙතත්,</verse>
				<verse number="3">සත් සමුදුර ගුගුරා කැළඹෙතත්, එයින් නැඟෙන රැළ වේගයෙන් කඳු වැටි සැලෙතත් අපට කිසි විටක බියක් නැත.</verse>
				<verse number="4">එක් ගංගාවක් ඇත. එහි දිය පාරවල් ගලා ගොස්, අපේ උතුම් දෙවිඳුන්ගේ ශුද්ධ මණ්ඩපය වන දෙව් නුවරට සතොස ගෙන දෙයි.</verse>
				<verse number="5">දෙවි තුමාණෝ ඒ නුවර වැඩ වසන සේක. ඊට කිසි දා විපතක් නොවනු ඇත. දෙවි තුමාණෝ අලුයම් වේලෙහි ඊට පිහිට වන සේක.</verse>
				<verse number="6">ජාතීහු කෝලහල කළහ; රාජධානි බිඳ වැටිණි. දෙවි තුමාණෝ ගිගුරුම් දුන් සේක. මහ පොළොව දිය විණි.</verse>
				<verse number="7">සව් බලැති සමිඳාණෝ අප සමඟ ය. ජාකොබ්ගේ දෙවිඳාණෝ අපේ බලකොටුව ය.</verse>
				<verse number="8">එන්න, සමිඳුන්ගේ වික්‍රම ක්‍රියා බලන්න; මිහි මත කර ඇති පුදුම ක්‍රියා නරඹන්න.</verse>
				<verse number="9">එතුමාණෝ මිහි මත දස දෙස යුද බිය නවත්වන සේක; දුන්න බිඳ, හෙල්ලය කපා, පලිහ ගින්නෙන් දවන සේක.</verse>
				<verse number="10">නිශ්චල වන්න; මා දෙවිඳුන් බව සිතට ගන්න; මුළු දෙරණට අග රජ බව, සව් සත හට අග රජ බව වටහාගන්න;</verse>
				<verse number="11">සව් බලැති සමිඳාණෝ අප සමඟ ය; ජාකොබ්ගේ දෙවිඳාණෝ අපේ බලකොටුව ය.</verse>
			</chapter>
			<chapter number="47">
				<verse number="1">කෝරාගේ පුත්‍රයන්ගේ ගීතයකි. සව් සතුනි, අත්පොළසන් දෙන්න; ජය ගොස නංවා දෙවිඳුන්ට තුති දෙන්න.</verse>
				<verse number="2">අති උතුම් සමිඳාණෝ බියකරු ය, මුළු මහ පොළොව කෙරේ අග රජ ය.</verse>
				<verse number="3">එතුමාණෝ ජාතීන් පරදා අපට ජය දුන් සේක; සව් සත කෙරේ අග රජ වන සේක.</verse>
				<verse number="4">තම හට ප්‍රිය ජාකොබ්ගේ සෙනඟ වන අප හට මවු බිමක් ලබා දුන් සේක.</verse>
				<verse number="5">ජය ගොස නංවා, කාහල හඬ පතුරා, එතුමාණෝ සිහසුන මත නැඟුණ සේක.</verse>
				<verse number="6">දෙවි තුමන් හට ගී පසස් නඟන්න. ගී පසස් නඟන්න. අපේ නිරිඳු හට ගී පසස් නඟන්න; ගී පසස් නඟන්න.</verse>
				<verse number="7">දෙවිඳාණෝ මුළු දෙරණට නිරිඳාණෝ ය. එතුමන් හට ගී පැසසුම් ගයන්න.</verse>
				<verse number="8">දෙවිඳාණෝ ජාතීන් අතර රජිඳාණෝ ය; එතුමාණෝ සුවිශුද්ධ සිහසුන් අරා වැඩ සිටින සේක.</verse>
				<verse number="9">ජාතීන්ගේ අධිපතීහු, ආබ්‍රහම්ගේ වංශයට අයත් දේව සෙනඟ සමඟ එක් රැස් වන්නෝ ය. පොළොවේ බලවත් ජාතීහු දෙවි තුමන්ට අයිති ය; එතුමාණෝ උන් හැම කෙරේ රජකම් කරන සේක.</verse>
			</chapter>
			<chapter number="48">
				<verse number="1">ගීතයකි. කෝරාගේ පුත්‍රයන්ට ගීතයකි. අප දෙව් නුවර වන එතුමන්ගේ ශුද්ධ කන්දෙහි හිමි තුමාණෝ උදාර ය. විපුල පැසසුම් ලද යුතු ය.</verse>
				<verse number="2">උතුරු දෙසින් වන, මහ රජුගේ නුවර වූ සියොන් කන්ද උස මහතින් මනරම් ය; මුළු පොළොවට පියකරු ය.</verse>
				<verse number="3">නුවර බලකොටු ඇතුළෙහි සුරැකි ව විසිය හැකි බව, දෙවි තුමන් පෙන්වා දී ඇත.</verse>
				<verse number="4">රජවරුන් රාශිභූත ව, නුවරට එරෙහි ව සටනට යන හැටි නරඹන්න;</verse>
				<verse number="5">ඔව්හු එනුවර නරඹා විස්මිත වූ හ; බියෙන් තැති ගෙන පලා ගියහ;</verse>
				<verse number="6">ඔව්හු බියෙන් හා සන්තාපයෙන් ඇලළී, ප්‍රසූතියට ළං වූ කතුන් මෙන් වූ හ;</verse>
				<verse number="7">තද කුණාටුවට අසු වී, සැලෙන, පෙරළෙන මහ නැව් මෙන් වූ හ.</verse>
				<verse number="8">අප පෙර කල ඇසූ විලස, සව් බලැති සමිඳාණන් සිය නුවරෙහි සිදු කළ දෙය අපේ ම දෙනෙතින් දුටිමු. එතුමාණෝ එනුවර සදහට ම රක්නා සේක.</verse>
				<verse number="9">දෙවිඳුනි, ඔබ මැදුරෙහි ඔබේ තිර පෙම්කඳ අපි සිහි කෙළෙමු.</verse>
				<verse number="10">දෙවිඳුනි, ඔබට හිමි ගරු පැසසුම් දස දෙසින් ඔබ වෙත නැඟී එයි. ඔබේ කිතු ගොස පොළොව පුරා පැතිර ඇත. ඔබ සාධාරණ ලෙස රජ කරන සේක.</verse>
				<verse number="11">ඔබේ සාධාරණ විනිසයන් නිසා සියොන් කන්දේ වැසියෝ සතුටින් පිනා යත් වා! ජුදාහි නුවරවල ප්‍රීති ගීත ඇසේ වා!</verse>
				<verse number="12">මතු පරම්පරාවලට කරුණු කියන පිණිස සියොන් පව්ව වටේ ඇවිද බලන්න;</verse>
				<verse number="13">එහි කොටු පවුරු හොඳින් බලා ගණන් කරන්න; මාලිගා සෝදිසි කරන්න.</verse>
				<verse number="14">මේ දෙවිඳාණෝ සදහට ම අපේ දෙවිඳාණෝ ය; “ඉර හඳ පවතින තුරු එතුමාණෝ අපට මඟපෙන්වන සේකැ”යි කියන්න.</verse>
			</chapter>
			<chapter number="49">
				<verse number="1">කෝරාගේ පුත්‍රයන්ට ගීතයකි. සියලු ජාතීනි, මෙය අසන්න; සියලු ලෝ වැසියෙනි, එක් ව සවන් දෙන්න.</verse>
				<verse number="2">ලොකු කුඩා සියල්ලෙනි, දුප්පත් පොහොසත් සියල්ලෙනි, සවන් දෙන්න.</verse>
				<verse number="3">මම නැණවත් සිතුවිලි සිතමි; මම පැණවත් වදන් පවසමි.</verse>
				<verse number="4">මම හිතෝපදේශවලට අවධානය යොමු කරමි; වීණාව වයමින් ඒවායේ විසඳුම පහදා දෙන්නෙමි.</verse>
				<verse number="5">අන්තරා කාලවල දී, නපුරු සතුරන් මා සිසාරා සිටින විට,</verse>
				<verse number="6">සිය ධන සම්පත් කෙරේ විශ්වාසය තැබූ, සිය වස්තු සම්භාරය නිසා අහංකාර වූ අය මා අවටින් සිටින විට, මම කිසිසේත් බිය නොවන්නෙමි.</verse>
				<verse number="7">තම විමුක්තිය තමාට ම සාදා ගත නොහැකි ය; ජීවිතය සඳහා මිදීමේ මිලය දෙවිඳුන්ට ගෙවීමට ඔහුට නුපුළුවන.</verse>
				<verse number="8">මිනිසෙකුගේ ජීවිතය සඳහා ගෙවිය යුතු මිදීමේ මිලය ඉතා විශාල ය; මිනී වළට යාමෙන් වැළකෙන පිණිසත්,</verse>
				<verse number="9">සදා ජීවත් වීමට වරයක් ලබන පිණිසත්, තමා විසින් ගෙවනු ලැබිය හැකි මිලය කිසිසේත් නොසෑහේ.</verse>
				<verse number="10">පැණවතුන් මියයන බව ද නූගතුන් හා අනුවණයන් යන දෙගොල්ල ම වැනසෙන බව ද ඔවුන්ගේ ධනය අනුන්ට තබා යන බව ද නොදන්න කෙනෙක් නැත.</verse>
				<verse number="11">වරක් ඔවුන්ගේ ම නමින් ගම්බිම් තිබුණ නමුත්, දැන් ඔවුන්ගේ ගෙවල් සදහට ම සොහොන් ගෙවල් වී ඇත. ඔවුන් එහි සදහට ම වාසය කරනු ඇත.</verse>
				<verse number="12">කොතරම් උසස් මිනිසෙකුට වුව ද මරණින් වැළකිය නොහැකි ය. ඔහු ද මියයන තිරිසනුන් හා සමාන ය.</verse>
				<verse number="13">තමා කෙරෙහි ම විශ්වාසය තබන, තම වස්තුවෙන් සෑහීමට පැමිණ සිටින අයගේ ඉරණම එය වේ.</verse>
				<verse number="14">ඔවුන් බැටළු රැළක් මෙන් මරණයට නියම වී ඇත; ඔවුන්ගේ එඬේරා මරණය වී ඇත. ඔවුන් කෙළින් ම යන්නේ මිනී වළට ය, ඔවුන්ගේ සිරුරු දිරා යන්නේ ය. ඔවුන්ගේ නිවාසය පාතාලය වන්නේ ය.</verse>
				<verse number="15">එහෙත්, දෙවිඳාණෝ මා මුදාගෙන මරණයේ බලයෙන් මා ගළවන සේක.</verse>
				<verse number="16">යමෙකු පොහොසත් වන විට, ඔහුගේ යස ඉසුරු වැඩි වන විට බිය නොවන්න.</verse>
				<verse number="17">මියයන විට, ඔහු ඉන් කිසිවක් ගෙනයන්නේ නැත; ඔහුගේ යස ඉසුරු ඔහු කැටුව මිනී වළට නොයනු ඇත.</verse>
				<verse number="18">මිනිසෙක් සිය ජීවිත කාලයේ දී තෘප්තියට පත් වී සිටියත්, තමන් ගැන පුරසාරම් දෙඩුවත්, ඔහුගේ දියුණුව ප්‍රශංසාවට ලක් වූවත්,</verse>
				<verse number="19">ඔහු තම මුතුන්මිත්තන් මෙන් මිය යන්නේ ය; එහි සදහට ම අඳුර පවතින්නේ ය.</verse>
				<verse number="20">කොතරම් උසස් මිනිසෙකුට වුව ද මරණින් වැළකිය නොහැකි ය. ඔහු ද මියයන තිරිසනුන් හා සමාන ය.</verse>
			</chapter>
			<chapter number="50">
				<verse number="1">ආසප්ගේ ගීතයකි. සව් බලැති දෙවි සමිඳාණෝ ශ්‍රී මුඛය විවෘත කර පෙරදිග පටන් අපර දිග දක්වා මුළු ලොවට කතා කරන සේක.</verse>
				<verse number="2">අලංකාරයෙන් අගතැන් පත් සියොන්හි සිට, දෙවිඳාණෝ වැජඹෙන සේක.</verse>
				<verse number="3">අපේ දෙවිඳාණෝ වඩින සේක; නිහඬ ව නොසිටින සේක. එතුමන් අබිමුව විනාශකාරී ගින්නක් ඇත; එතුමන් සිසාරා චණ්ඩ මාරුතයක් හමයි.</verse>
				<verse number="4">සිය සෙනඟ හට නඩු තීන්දුව දෙන විට ඉහළ අහසටත්, පහළ පොළොවටත් සාක්ෂිකරුවන් වීමට එතුමාණෝ හඬ ගසන සේක.</verse>
				<verse number="5">“පුද පූජා ඇති ව මා සමඟ ගිවිසුමක් කළ මාගේ සැදැහැවතුන් මා වෙත රැස් කරන්නැ”යි එතුමාණෝ වදාළ සේක.</verse>
				<verse number="6">දෙවිඳාණන් දැහැමි බව ද දෙවිඳාණන් විනිසකරුවන් බව ද අහස් මඬල ලොවට දන්වයි.</verse>
				<verse number="7">“එම්බා මාගේ සෙනඟෙනි, සවන් දෙන්න. මම මෙය වදාරන්නෙමි. එම්බා ඉශ්රායෙල් ජනයෙනි, නුඹලාට විරුද්ධ ව මම සාක්ෂි දෙමි. මම දෙවිඳාණෝ ය; නුඹලාගේ දෙවිඳාණෝ ය.”</verse>
				<verse number="8">නුඹලාගේ පූජා ගැන වත්, නිරතුරු මා වෙත ගෙනෙන දවන යාග පූජාවන් ගැන වත් මම දොස් නොපවරමි.</verse>
				<verse number="9">එහෙත්, නුඹේ පට්ටිවලින් ගොනුන් වත්, නුඹේ ගාල්වලින් එළුවන් වත් මට වුවමනා නැත.</verse>
				<verse number="10">වනයේ වසන සියලු සත්තු මාගේ ය; දහසක් කඳුවල වසන ගවයෝත් මාගේ ය;</verse>
				<verse number="11">අහසේ සියලු කුරුල්ලෝ මාගේ ය; කෙත්වතුවල සියලු සත්තු මාගේ ය.</verse>
				<verse number="12">“මට කුසගිනි නම්, නුඹට දන්වන්නට වුවමනාවක් නැත; ලොවත්, එහි ඇති සියලු දේත් මා සතු නොවේ ද?</verse>
				<verse number="13">ගවමස් බුදීමට හෝ එළු ලේ පානය කිරීමට හෝ මට වුවමනාවක් ඇද් ද?</verse>
				<verse number="14">දෙවියන්ට තුති දීම නුඹේ යාගය වේවා. සව් බලැති දෙවිඳුන්ට නුඹේ භාර ඉටු කරන්න.</verse>
				<verse number="15">විපත්තියේ දී මට යාච්ඤා කරන්න; මම නුඹ මුදන්නෙමි. නුඹ මට ගෞරව කරනු ඇත.”</verse>
				<verse number="16">එහෙත්, දුදනා හට දෙවි තුමාණෝ මෙසේ වදාරන සේක: “නුඹ මාගේ ආඥා කටපාඩමින් කියන්නේත්, මාගේ ගිවිසුම ගැන කතා කරන්නේත් කුමකට ද?</verse>
				<verse number="17">මන්ද, නුඹ මාගේ අවවාදය නුරුස්සන්නෙහි ය; මාගේ වචනවලට පිටුපා යන්නෙහි ය.</verse>
				<verse number="18">නුඹ සොරෙකු දුටු විට ඔහුගේ මිතුරා වන්නෙහි ය; කාමමිථ්‍යාචාරීන් ඇසුරු කරන්නෙහි ය.</verse>
				<verse number="19">නුඹේ කට නපුරට පාවා දී ඇත; නුඹ කට ඇරියොත් කියන්නේ බොරු ම ය.</verse>
				<verse number="20">එක් කුසේ උපන් නුඹේ සොහොයුරන්ට විරුද්ධ ව කතා කිරීමට ද ඔවුන්ට දොස් පැවරීමට ද නුඹ සූදානම් ය.</verse>
				<verse number="21">මේ සියල්ල නුඹ කෙළෙහි ය; මම කිසිවක් නොකීවෙමි. ඒ නිසා ‘මාත් නුඹ වාගේ ම ය’යි නුඹ සිතුවෙහි ය. එහෙත්, දැන් මම නුඹට දොස් පවරන්නෙමි; නුඹට කරුණු පහදා දෙන්නෙමි.</verse>
				<verse number="22">මට පිටුපා යන්නෙනි, මෙය කල්පනාවට ගන්න; නැතහොත්, මම නුඹලා වනසන්නෙමි. නුඹලා ගළවන්නට කිසිවෙකු නොසිටිනු ඇත.</verse>
				<verse number="23">ස්තුති පූජා පුදන තැනැත්තේ මට ගෞරව කරයි; මට කීකරු වන හැම දෙන ම මම සැබැවින් ගළවාගන්නෙමි.”</verse>
			</chapter>
			<chapter number="51">
				<verse number="1">බැත්-ෂෙබා සමඟ පරදාර සේවනයෙහි යෙදුණු දාවිත් වෙත නාතාන් ගිය පසු දාවිත් තැනූ ගීතයකි. දෙවිඳුනි, ඔබේ දයා කරුණාවෙන් මට අනුකම්පා කළ මැනව; ඔබේ විපුල දයාවෙන් මාගේ අපරාධ මකාදැමුව මැනව.</verse>
				<verse number="2">මාගේ කෙලෙස් මලින් මා මුළුමනින් සෝදාලුව මැනව; මාගේ පාප මලින් මා පිවිතුරු කළ මැනව.</verse>
				<verse number="3">මාගේ අපරාධ මම මැනැවින් දනිමි. දිවා රෑ දෙක්හි මාගේ පාප මට සිහි වේ.</verse>
				<verse number="4">
					ඔබට විරුද්ධව, ඔබට පමණක් විරුද්ධ ව මම පව් කෙළෙමි;
					ඔබ හමුවෙහි මම නපුර කෙළෙමි. එබැවින් ඔබේ තීන්දුව සාධාරණ ය; ඔබේ විනිශ්චය යුක්ති සහගත ය.
				</verse>
				<verse number="5">පවට නැම්ම ඇතිව යි, මා මෙලොව උපන්නේ; කෙලෙස් මලින් යුතුව යි, මා මව් කුසේ පිළිසිඳුණේ.</verse>
				<verse number="6">සත්‍යයට හා අවංක බවට ඔබ ප්‍රිය කරන සේක. එබැවින් සැබෑ ප්‍රඥාව මට ඉගැන්නුව මැනව.</verse>
				<verse number="7">ආසිරි පැන් මට ඉසිනු මැනව; එවිට මම පිවිතුරු වන්නෙමි. මා ධෝවනය කළ මැනව; එවිට මම හිමට වඩා සුදු වන්නෙමි.</verse>
				<verse number="8">මා සිතට සතුට හා සොම්නස දුන මැනව; ඔබ තැළූ පෙළූ මා කයට යළි සුව සෙත දුන මැනව.</verse>
				<verse number="9">මාගේ පවින් ඔබේ බැල්ම හරවා ගත මැනව; මාගේ සියලු අපරාධ මකා හැරිය මැනව.</verse>
				<verse number="10">දෙවිඳුනි, මා තුළ නිර්මල සිතක් මවා වදාළ මැනව; තිරසර නව ආධ්‍යාත්මයක් මට දුන මැනව.</verse>
				<verse number="11">ඔබ හමුයෙන් මා පලවා නොහැරිය මැනව; ඔබේ ශුද්ධාත්මය මා කෙරෙන් ඉවත් නොකළ මැනව.</verse>
				<verse number="12">විමුක්තියේ ප්‍රීතිය මට යළි දුන මැනව; අවනත සිතක් දී මා දැරුව මැනව.</verse>
				<verse number="13">එවිට මම අපරාධකරුවන්ට ඔබ මඟ පහදා දෙන්නෙමි; පව්කරුවන් ඔබ වෙත හරවාගෙන එන්නෙමි.</verse>
				<verse number="14">දෙවිඳුනි, මා ගැළවුම්කාර දෙවිඳුනි, මිනී මැරීමේ අපරාධයෙන් මා මුදාලුව මැනව. එවිට ඔබේ දැහැමි ක්‍රියා ගැන මම උස් හඬින් ගීත ගයන්නෙමි.</verse>
				<verse number="15">සමිඳුනි, ගී ගැයුමේ වරම මට දුන මැනව. එවිට මා මුවින් ඔබ පැසසුම් ගයන්නෙමි.</verse>
				<verse number="16">ඔබ පුද පඬුරුවලට රිසි නැත; ඔබ ඒවාට රිසි නම්, මම ඒවා ඔබට පුදන්නෙමි. දවන යාග පූජාවලට ද ඔබ රිසි නොවන සේක.</verse>
				<verse number="17">දෙවිඳුන් ප්‍රිය පඬුර නම්, බිඳුණු හදවතකි. දෙවිඳුනි, ඔබ තැළුණුබිඳුණු සිතක් ඉවත නොදමන සේක.</verse>
				<verse number="18">සියොන් ගිරට ඔබ කරුණාව පා සෙත සැලසුව මැනව; ජෙරුසලමේ කොටු පවුරු යළි ඉදි කළ මැනව.</verse>
				<verse number="19">එකල, දවන යාග පූජා වන නියමිත පඬුරුවලට ඔබ ප්‍රිය වන සේක. එවිට ඔබේ පුදසුන මත ඔව්හු ගව පූජා පුදන්නෝ ය.</verse>
			</chapter>
			<chapter number="52">
				<verse number="1">දාවිත්ගේ සංගීතයකි. ඒදොමිය ජාතික දොවෙග් නමැත්තා පැමිණ, “දාවිත් අබිමෙලෙක්ගේ ගෙදරට ඇතුළු වී ය”යි සාවුල්ට දැන් වූ පසු දාවිත් විසින් ලියන ලද්දකි. එම්බා බලවන්තය! ඔබේ දුෂ්ටකම ගැන පාරට්ටු කරගන්නේ මන් ද? දෙවියන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය.</verse>
				<verse number="2">දවස පුරා නිතර ම දුෂ්ට සිතුවිලි සිතන්නේ මන් ද? ඔබේ දිව මුවහත් දැළි පිහියක් බඳු ය; ඔබ කපටිකමට රුසියෙක් වන්නෙහි ය.</verse>
				<verse number="3">යහපතට වඩා අයහපතට ඔබ ආලය කරන්නෙහි ය. ඇත්තට වඩා බොරුවට ඔබ ප්‍රිය වන්නෙහි ය.</verse>
				<verse number="4">එම්බා කපටි දිව! විනාශකාරී සෑම වචනයකට ම ඔබ ප්‍රිය වන්නෙහි ය.</verse>
				<verse number="5">දෙවිඳාණෝ ඔබ සදහට ම නසා, වනසාදමන සේක; එතුමාණෝ ඔබ කූඩාරම්වලින් ඇද දමා, ජීවතුන් අතරෙන් ඔබ උදුරාදමන සේක.</verse>
				<verse number="6">එවිට දැහැමියෝ බියෙන් මේ දේ නරඹන්නෝ ය; ඔහුගේ විපත ගැන සිනාසෙමින් මෙසේ පවසන්නෝ ය:</verse>
				<verse number="7">“දෙවි තුමන් සරණ කොට නොගන්න මිනිසා මොහු ය; තම සම්පත කෙරෙහි විශ්වාසය තබමින් දුෂ්ටකම සරණ කොටගත් තැනැත්තා මොහු ය.”</verse>
				<verse number="8">මම වනාහි දෙව් විමනෙහි සරුසාර ඔලීව ගසක් මෙන් වන්නෙමි. දෙව් පෙම තුළ සදහට ම විශ්වාසය තබන්නෙමි.</verse>
				<verse number="9">ඔබ එසේ කළ බැවින් මම සදහට ම ඔබ පසසන්නෙමි. ඔබේ සැදැහැවතුන් අබිමුව ඔබේ නම යහපත් ය. එබැවින් මම එය පතුරා හරින්නෙමි.</verse>
			</chapter>
			<chapter number="53">
				<verse number="1">දාවිත් ලියූ සංගීතයකි. අඥානයා, “දෙවි කෙනෙක් නැතැ”යි සිතින් සිතන්නේ ය. එසේ සිතන්නෝ, දූෂිත, පිළිකුල්, අපරාධ කරන්නෝ ය. යහපත කරන කිසිවෙක් නැත.</verse>
				<verse number="2">සුරලොව සිට දෙවිඳාණෝ නරලොව නරඹන සේක. එසේ ය, දෙවිඳුන් සොයා යන නුවණැති අය ඇද්දැ යි එතුමාණෝ විමසන සේක.</verse>
				<verse number="3">සියලු දෙනා නපුරට වැටී ඇත; එක ලෙස දූෂණය වී ඇත. යහපත කරන්නෙක් නැත; ඇත්තේ ම නැත.</verse>
				<verse number="4">අහරක් බුදින ලෙස මාගේ සෙනඟ කාදමන, දෙවිඳුන් නොඅයදින, අපරාධ කරන අයට කිසි ම දැනුමක් නැද් ද?</verse>
				<verse number="5">පෙර නොවූ විරූ බියකින් ඔව්හු බියට පත් වූ හ. ඔබ වැටලූ සතුරන්ගේ ඇටකටු දෙවිඳාණෝ විසුරුවා හැරිය සේක. එතුමාණන් ඔවුන් ප්‍රතික්ෂේප කළ බැවින් ඔව්හු අවමන් ලැබූ හ.</verse>
				<verse number="6">සියොන් කන්දෙන් ඉශ්රායෙල්වරුන්ගේ විමුක්තිය පැමිණියොත් කොතරම් යහපත් ද? දෙවිඳුන් සිය සෙනඟට සැප සම්පත් සලසා දුන් විට, ජාකොබ්ගේ සෙනඟ ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය; ඉශ්රායෙල් ජනතාව ප්‍රීති සන්තෝෂ වන්නෝ ය.</verse>
			</chapter>
			<chapter number="54">
				<verse number="1">දාවිත්ගේ සංගීතයකි. සිප්වරුන් පැමිණ, “බලන්න, දාවිත් අප අතර සැඟවී සිටින්නේ ය”යි සාවුල්ට කී පසු දාවිත් විසින් ලියන ලද අනුශාසනාවකි. අහෝ දෙවිඳුනි, ඔබ නාමයේ අනුහසින් මා මුදාලුව මැනව; ඔබ බල මහිමයෙන් මා නිදහස් කළ මැනව;</verse>
				<verse number="2">දෙවිඳුනි, මාගේ යැදුමට සවන් දුන මැනව; මා පවසන වදනට ද සවන් දුන මැනව.</verse>
				<verse number="3">විදේශිකයෝ මට විරුද්ධ ව නැඟිට්ටෝ ය; සාහසිකයෝ මා මරන්නට සෙවුවෝ ය. මාගේ අධිපතියාණන් දෙවිඳුන් බව ඔව්හු නොපිළිගත්තෝ ය.</verse>
				<verse number="4">දෙවිඳාණෝ මාගේ සහායට වඩින සේක; සමිඳාණෝ මාගේ දිවියට රැකවරණය දෙන සේක.</verse>
				<verse number="5">මාගේ සතුරන් මට කළ නපුර ඔවුන්ට ම පල දේ වා! තම විශ්වාසවන්තකම නිසා එතුමාණෝ ඔවුන් සහමුලින් ම වනසාලන සේක් වා!</verse>
				<verse number="6">තුටුපහටු සිතින් මම ඔබට පඬුරු පුදන්නෙමි. සමිඳුනි, සැබැවින් ම ඔබ යහපත් බැවින් මම ඔබේ නාමය පසසන්නෙමි.</verse>
				<verse number="7">එතුමාණෝ සැම විපතින් මා මුදා ලූ සේක. මා දෙනෙතින් මා සතුරන්ගේ විපත දැක මම සතොස් වන්නෙමි.</verse>
			</chapter>
			<chapter number="55">
				<verse number="1">දාවිත්ගේ සංගීතයකි. අහෝ දෙවිඳුනි! මාගේ යැදුමට සවන් දුන මැනව; මාගේ ඉල්ලීම පැහැර නොහැරිය මැනව.</verse>
				<verse number="2">මා කියන දේ සලකා පිළිතුරු දුන මැනව. මම කරදරයෙහි ගිලී සිටිමි.</verse>
				<verse number="3">සතුරාගේ ගෝරනාඩුවෙන් ද දුදනාගේ පීඩනයෙන් ද මම තැතිගනිමි. ඔව්හු මා පිට කරදර පටවා මට සතුරුකම් කරන්නෝ ය.</verse>
				<verse number="4">මාගේ හදවත ගැහි ගැහී ඇත්තේ ය; මරණ බිය මා ලුහුබැඳ එන්නේ ය.</verse>
				<verse number="5">භීතිය ද ත්‍රාසය ද මට තදින් පීඩා කරන්නේ ය; බියෙන් මාගේ ඇඟ කිලිපොළා යන්නේ ය.</verse>
				<verse number="6">අනේ! මටත් පරෙවියෙකුට මෙන් පියාපත් ඇත්නම්! එවිට මම පියාඹා ගොස් විවේකය ලබන්නෙමි.</verse>
				<verse number="7">මම බොහෝ ඈතට ම පියාඹා යන්නෙමි; පාළුකරයට ගොස් පදිංචි වන්නෙමි.</verse>
				<verse number="8">සැඬ සුළඟින් සහ චණ්ඩ මාරුතයෙන් මම අහක් ව යන්නෙමි. මාගේ අභය භූමියට වහා ඉගිල යන්නෙමි.</verse>
				<verse number="9">සමිඳුනි, ඔවුන්ගේ කතාව වියවුල් කළ මැනව. මන්ද, නුවර තුළ සැහැසිකම ද ආරාවුල ද මට පෙනේ.</verse>
				<verse number="10">දිවා රෑ දෙක්හි ඒවා පවුරු මත සැරිසරන්නේ ය; එහි අපරාධය ද මැරවරකම ද ඇත්තේ ය.</verse>
				<verse number="11">නුවර මැද දුෂ්ටකම් බහුල ව ඇත්තේ ය. එහි වෙළෙඳ පොළෙහි ඇති අපරාධයට හා වංචාවට කෙළවරක් නැත්තේ ය.</verse>
				<verse number="12">මට අපවාද කළෝ සතුරෝ නම්, එය මට ඉවසා ගන්නට තිබුණේ ය; මට සතුරු ව නැඟිට සිටියෝ එදිරිකාරයෝ නම්, මට ඔවුන්ගෙන් සැඟවෙන්නට තිබුණේ ය.</verse>
				<verse number="13">එසේ කෙළේ, මා හා සමාන කෙනෙකු වන ඔබ ය; මාගේ හිත මිතුරා ද සහකාරයා ද ඔබ ය.</verse>
				<verse number="14">අපි එකට සතුටු සාමීචි කතාවේ යෙදුණෙමු; එකට දෙව් මැදුරෙහි නමස්කාර කෙළෙමු.</verse>
				<verse number="15">අකාල මරණය සතුරන් පිට පැමිණේ වා! ඔව්හු පණපිටින් පාතාලයට යත් වා! මන්ද, ඔවුන්ගේ සිත්හි හා නිවෙස්හි දුෂ්ටකම ඇත්තේ ය.</verse>
				<verse number="16">මම දෙවිඳාණන්ට හඬගසන්නෙමි; සමිඳාණෝ මා ගළවන සේක.</verse>
				<verse number="17">උදය, මද්දහන හා සවස මාගේ මැසිවිලි කිය කියා මම වැලපෙන්නෙමි. එතුමාණෝ මා හඬට සවන් දෙන සේක.</verse>
				<verse number="18">මට විරුද්ධ ව කරන ලද සටනින් එතුමාණෝ මා මුදා මට සාමදානය දුන් සේක. මන්ද, බොහෝ දෙනා මට විරුද්ධ ව සිටියෝ ය.</verse>
				<verse number="19">අතීතයේ සිට සිහසුන් අරා සිටින දෙවිඳාණෝ මට සවන් දී පිළිතුරු දුන් සේක. මන්ද, මාගේ සතුරෝ නීතිය නොරකිති; දෙවිඳුන් හට ගරුබිය නොදක්වති.</verse>
				<verse number="20">සතුරා තම මිතුරා හට විරුද්ධ ව තම අත දිගු කෙළේ ය; එසේ කොට, ඔහු ගිවිසුම කඩ කෙළේ ය.</verse>
				<verse number="21">බද්ධ වෛරය සිත තුළ පැසෙන නමුත්, ඔහුගේ කතාව වෙඬෙරු මෙන් සුමුදු ය; ඔහුගේ වචන, තෙලට වඩා මොළොක් ය. එහෙත් ඒවා, මුවහත් කඩු පහර මෙන් වූයේ ය.</verse>
				<verse number="22">ඔබේ දුක් බර සමිඳුන් පාමුල තබන්න; එතුමාණෝ ඔබ ආරක්ෂා කරන සේක; සැදැහැවතුන්ගේ වැටීමට කිසි දා ඉඩ නොදෙන සේක.</verse>
				<verse number="23">දෙවිඳුනි, ඔබ ඔවුන් වළ පත්ලට නෙරපා ලන සේක. මිනීමරුවන් ද කපටියන් ද අඩු වයසින් මියයනු ඇත. එහෙත් දෙවිඳුනි, මම නම්, ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි.</verse>
			</chapter>
			<chapter number="56">
				<verse number="1">පිලිස්තිවරුන් ගාත් නම් ස්ථානයේ දී දාවිත් අල්ලාගත් පසු ඔහු ලියූ සෙල් ලිපියකි. දෙවිඳුනි, මට දයා වුව මැනව. මිනිස්සු මා ලුහුබැඳ එන්නෝ ය; දවස පුරා ඔව්හු මට පීඩා කරන්නෝ ය.</verse>
				<verse number="2">සතුරෝ දවස පුරා මා ලුහුබැඳ එන්නෝ ය. මට එරෙහි ව කොපමණ අය සටන් කරන්නෝ ද?</verse>
				<verse number="3">අතිඋතුම් දෙවිඳුනි, යම් දිනෙක මම බිය වන්නෙම් ද? එදින මම ඔබ තුළ විශ්වාසය තබන්නෙමි.</verse>
				<verse number="4">මම දෙවිඳුන්ගේ වචනය පසසන්නෙමි; මම නොබිය ව, එතුමන් තුළ විශ්වාසය තබන්නෙමි. සතුරන් විසින් මට කරනු ලැබිය හැකි දෙයක් ඇද් ද?</verse>
				<verse number="5">ඔව්හු දවස පුරා මට ගරහන්නෝ ය; ඔවුන්ගේ එක ම අදහස මට නපුරක් කිරීම වන්නේ ය.</verse>
				<verse number="6">ඔව්හු කුමන්ත්‍රණය කරමින් සැඟවී සිට, මා යන එන විට බලා සිටින්නෝ ය; මා වැනසීමට නිරතුරු බලා සිටින්නෝ ය.</verse>
				<verse number="7">ඔවුන්ගේ අපරාධයට විපාක දුන මැනව; අහෝ දෙවිඳුනි! උදහස් වී ඔබ ඒ ජනයා පරාජය කළ මැනව.</verse>
				<verse number="8">මාගේ කන්නලව්ව ඔබ ම සටහන් කළ මැනව; ඔබේ බඳුනෙහි මාගේ කඳුළු එකතු කළ මැනව; ඒවා ඔබේ පොතේ සටහන් වී නැද් ද?</verse>
				<verse number="9">මා ඔබ අයැදින දවසෙහි මාගේ සතුරෝ පසු බැස යන්නෝ ය. දෙවිඳුන් මට පක්ෂ බව එවිට මම දැනගන්නෙමි.</verse>
				<verse number="10">මම දෙවිඳුන්ගේ වචනය පසසන්නෙමි; දෙවිඳුන්ගේ වචනය ගැන උදන් අනන්නෙමි.</verse>
				<verse number="11">දෙවිඳුන් කෙරෙහි නොබිය ව මාගේ විශ්වාසය තබන්නෙමි; මිනිසා මට කුමන අනතුරක් කිරීමට සමත් වන්නේ ද?</verse>
				<verse number="12">දෙවිඳුනි, ඔබට පොරොන්දු වූ බාරහාර මම ඉටු කරන්නෙමි; ඔබට තුති පූජා පුදන්නෙමි.</verse>
				<verse number="13">මන්ද, ඔබ, මා මරණින් මිදූ සේක. මාගේ පාද පැකිළීමෙන් වැළැක්වූ සේක. එසේ කෙළේ, ජීවනාලෝකයෙහි දෙවිඳුන් අබියස මා හැසිරෙන පිණිස ය.</verse>
			</chapter>
			<chapter number="57">
				<verse number="1">දාවිත් සාවුල් ඉදිරියෙන් ගුහාවට පලා ගිය පසු දාවිත් ගැයූ ගීතයකි. මට අනුකම්පා කළ මැනව; අහෝ දෙවිඳුනි! මට අනුකම්පා කළ මැනව. මම ඔබ සරණ පතමි; විපත් කුණාටුව පහ වී යන තෙක්, ඔබ පියාපත් සෙවණෙහි මම රැකවරණය පතමි.</verse>
				<verse number="2">අතිඋතුම් දෙවිඳුන් හට මම හඬ ගසන්නෙමි; මට සියල්ල සලසා දෙන අතිඋතුම් දෙවිඳුන් හට මම හඬ ගසන්නෙමි.</verse>
				<verse number="3">මා පෙළන අයගෙන් මා මුදාලීමට එතුමාණෝ සගලොවින් පිහිට එවන සේක. දෙවිඳාණෝ තමන් කරුණාවත්, සත්‍යතාවත් එවන සේක.</verse>
				<verse number="4">මිනිසුන් කන සිංහයන් වැනි රුපුන් මැද මම වැතිර සිටින්නෙමි. උන්ගේ දත් හෙල්ල හා ඊගස් වැන්න; උන්ගේ දිව් මුවහත් අසිපත් වැන්න.</verse>
				<verse number="5">දෙවිඳුනි, ඉහළින් වැඩ සිට ඔබේ ශ්‍රේෂ්ඨත්වය දැක්වුව මැනව. ඔබේ මහිමාලංකාරය ලොව පුරා පැතිර ඇත්තේ ය.</verse>
				<verse number="6">මා දුක් බරින් යට වූ විට මාගේ සතුරෝ මා පයට දැලක් එළූ හ; මා වැටෙන පිණිස කැණූ වළෙහි ඔව්හු ම වැටුණෝ ය.</verse>
				<verse number="7">දෙවිඳුනි! මට අචල විශ්වාසයක් ඇත්තේ ය. මම ගී ගයා ඔබ පසසමි.</verse>
				<verse number="8">මාගේ හදවත, අවදි වන්න! එම්බා! කුඩා වීණාව, මහා වීණාව, පිබිදෙන්න! එවිට මම උදාහිරු අවදි කරන්නෙමි.</verse>
				<verse number="9">සමිඳුනි! මම ජනතාව අතර ඔබ පසසමි; විජාතීන් අතර මම ඔබට ගී ගයමි.</verse>
				<verse number="10">ඔබේ කරුණාව සගලොව දක්වා නඟින්නේ ය. ඔබේ සත්‍යවාදිකම අහස උසට නැඟී ඇත්තේ ය.</verse>
				<verse number="11">දෙවිඳුනි, අහසට වඩා ඔබේ ශ්‍රේෂ්ඨත්වය උසස් බව දැක්වුව මැනව. ඔබේ මහිමාලංකාරය ලොව පුරා පැතිරේ වා!</verse>
			</chapter>
			<chapter number="58">
				<verse number="1">දාවිත් ලියූ සෙල් ලිපියකි. බලවතුනි, ඔබ සාධාරණ තීන්දු දෙන්නහු ද? නායකයෙනි, ඔබ යුතු ලෙස සෙනඟ පාලනය කරන්නහු ද?</verse>
				<verse number="2">එහෙත්, ඔබ එසේ නොකර දුෂ්ට අදහස් සිත්හි මවාගන්නහු ය; නීතියට පිටුපා සැහැසිකම් කරන්නහු ය.</verse>
				<verse number="3">දුදනෝ මවු කුස පටන් නොමඟ යන්නෝ ය; උපන් දා සිට ම ඔව්හු බොරු කියන්නෝ ය.</verse>
				<verse number="4">ඔවුන්ගේ වස විස සර්ප විස මෙන් වන්නේ ය. ඔව්හු කන් බිහිරි කරගත් පොළඟුන් වැනි ය.</verse>
				<verse number="5">එවැන්නෝ නයි නටවන්නන්ගේ හඬට කන් නොදෙති; මතුරන්නන්ගේ මැතිරීමට සවන් නොදෙති.</verse>
				<verse number="6">අහෝ දෙවිඳුනි! ඔවුන්ගේ මුඛයේ දත් පොඩි කළ මැනව; මේ සිංහ පෝතකයන්ගේ දළ බිඳ දැමුව මැනව.</verse>
				<verse number="7">ඔව්හු වේගයෙන් ගලා යන වතුර මෙන් පහ ව යත් වා! පයට පෑගුණ තණ මෙන් වියළී යත් වා!</verse>
				<verse number="8">සෙවලෙහි ම දිරා යන ගොළුබෙල්ලන් මෙන් ඔව්හු දිරා යත් වා! මියගිය කළල රූප මෙන් ඔව්හු ඉරු එළිය නොදකිත් වා!</verse>
				<verse number="9">ඔව්හු මුලිනුපුටා දැමූ කටු පඳුරු මෙන් වෙත් වා! කෝපයෙන් උදලුගා දැමූ වල් පැළෑටි මෙන් වෙත් වා!</verse>
				<verse number="10">පවිටුන්ට දඬුවම් ලැබෙන විට දැහැමියා ප්‍රීති ප්‍රමෝද වන්නේ ය. දුදන ලෙයින් ඔහු තම පා සෝදා ගන්නේ ය.</verse>
				<verse number="11">එවිට සෙනඟ මෙසේ කියති: “දැහැමියාට විපාකයක් සත්තට ම හිමි වන්නේ ය; මිහි පිට යුක්තිය ඉටු කරන දෙවිඳාණෝ සැබැවින් ම වැඩ සිටින සේක.”</verse>
			</chapter>
			<chapter number="59">
				<verse number="1">දාවිත් මරණ පිණිස ගෙය රැක සිටීමට සාවුල් මිනිසුන් යැවූ පසු දාවිත් ලියූ ගීතයකි. අහෝ මාගේ දෙවිඳුනි! මාගේ සතුරන්ගෙන් මා මුදාගත මැනව; මට පහර දෙන අයගෙන් මා රැකගත මැනව.</verse>
				<verse number="2">නපුර කරන්නන්ගෙන් මා මුදාගත මැනව; මිනී මරුවන්ගෙන් මා ගළවාගත මැනව.</verse>
				<verse number="3">මාගේ ජීවිතය නැසීමට මාන බලා සිටින්නන් හා මට සතුරු ව සැරසී සිටින්නන් දෙස බැලුව මැනව. මා අත පාපයක් හා වරදක් නොවූවත්,</verse>
				<verse number="4">මා අපරාධයක් නොකළත්, ඔව්හු මට චෝදනා කොට සටනට සැරසෙන්නෝ ය. සමිඳුනි, මාගේ සහායට පිබිද, මා දෙස බැලුව මැනව!</verse>
				<verse number="5">සමිඳුනි, සව් බලැති දෙවිඳුනි, ඉශ්රායෙල් දෙවිඳුනි, සියලු විජාතීන් හට දඬුවම් දීමට නැඟී සිටින සේක් වා! දුෂ්ට ද්‍රෝහින් කිසිවෙකුට වත් දයාව නොදක්වන සේක් වා!</verse>
				<verse number="6">ඔව්හු සවස් කාලය වන තෙක් බලා සිටින්නෝ ය; ඉන්පසු ගොරවන සුනඛයන් මෙන් නුවර සැරිසරන්නෝ ය.</verse>
				<verse number="7">ඔව්හු බෙරිහන් දෙමින් තියුණු කඩුපත් වැනි කටුක වචන කියති; “ඒවා ඇසෙන කිසිවෙක් නැතැ”යි ඔව්හු සිතති.</verse>
				<verse number="8">එහෙත් සමිඳුනි, ඔබ ඔවුන් ගැන සිනාසෙන සේක; ඔබ සියලු විජාතීන් සමච්චලයට පාත්‍ර කරන සේක.</verse>
				<verse number="9">මාගේ සවිය වන ඔබ මම පසසමි. මන්ද, දෙවිඳාණෝ මාගේ බලකොටුව වන සේක.</verse>
				<verse number="10">මට ප්‍රේම කරන දෙවිඳාණෝ වඩින සේක; මාගේ සතුරන්ගේ පරාජය මට දැකගන්නට සලසන සේක.</verse>
				<verse number="11">අහෝ දෙවිඳුනි! මා සෙනඟ නොපැකිළෙන පිණිස සතුරන් නොනැසුව මැනව; ඔබේ බලයෙන් ඔවුන් සලිත කොට පහතට හෙළුව මැනව. සමිඳාණෝ අපේ පලිහ වන සේක.</verse>
				<verse number="12">ඔවුන්ගේ මුවින් පිට වන පාපී බස් හා තොල්වලින් පවසන පුරසාරම් නිසා ඔව්හු වරදට අසු වෙත් වා! උඩඟුවෙන් වැනසෙත් වා!</verse>
				<verse number="13">ඔබ කෝපාග්නියෙන් ඔවුන් වනසත් වා! සහමුලින් ම ඔවුන් වනසත් වා! එවිට ඉශ්රායෙල් දේශයේ සිට පොළොවේ සීමාන්තය දක්වා දෙවිඳුන් පාලනය කරන බව ඔව්හු දැනගන්නෝ ය.</verse>
				<verse number="14">ඔව්හු සවස් කාලය වන තෙක් බලා සිටින්නෝ ය; ඉන්පසු ගොරවන සුනඛයන් මෙන් නුවර සැරිසරන්නෝ ය;</verse>
				<verse number="15">ඔව්හු ගොදුරු සොය සොයා සැරිසරන්නෝ ය; ඔව්හු සෑහීමට පත් නොවුවොත් ගොරවන්නෝ ය.</verse>
				<verse number="16">ඔබේ බල මහිමය ගැන මම ගී ගයන්නෙමි; ඔබේ තිර පෙම ගැන හැම උදය ම මම හඬ නඟා ගයන්නෙමි. මන්ද, ඔබ මාගේ බලකොටුව වූ සේක; මාගේ විපතේ දී ඔබ මාගේ සරණය වූ සේක.</verse>
				<verse number="17">මාගේ සවිය වන ඔබ මම පසසමි; මන්ද, දෙවිඳාණෝ මාගේ බලකොටුව වන සේක. ඔබ මට ප්‍රේම කරන සේක.</verse>
			</chapter>
			<chapter number="60">
				<verse number="1">මෙය ප්‍රසිද්ධ ආඥාවක් වශයෙන් ඉගැන්වීමට ය. මෙය ඉගැන්විය යුතු දාවිත්ගේ සංගීතයකි. දාවිත් ආරම්-නහරයිම් සහ ආරම්-ශෝබා නමැති අය සමඟ සටන් කරන විට, ජෝවාබ් හැරී අවුත් ලවණ නම් මිටියාවතේ දී ඒදොමිය ජාතිකයන්ගෙන් දොළොස් දහසකට පහර දුන් පසු මෙය ලියන ලදී. අහෝ දෙවිඳුනි! ඔබ අප අත්හැර අප බලකොටු බිඳදැමූ සේක; ඔබ උදහස් වූ සේක. අප වෙත යළි වැඩිය මැනව.</verse>
				<verse number="2">ඔබ දේශය කම්පා කරමින් එය දෙපළු කළ සේක; කඩා වැටී යන එහි කැඩුම්බිඳුම් අලුත්වැඩියා කළ මැනව.</verse>
				<verse number="3">ඔබ ජනතාවට දුක් විඳින්නට සැලැසූ සේක; වෙරිමත් කරවන මිදියුස ඔබ අපට පෙවූ සේක.</verse>
				<verse number="4">ඔබට ගරුබිය පාන අයට ඔබ අනතුරු ඇඟවීමක් කළ සේක; එසේ කෙළේ, පැමිණෙන්නට යන විපතෙන් පලා යන පිණිස ය.</verse>
				<verse number="5">ඔබට ප්‍රේම කරන්නන් මිදෙනු පිණිස ඔබේ දකුණතින් අපට ගැළවීම දුන මැනව; අපේ යැදුමට පිළිතුරු දුන මැනව.</verse>
				<verse number="6">දෙවිඳාණෝ සිය ශුද්ධස්ථානයෙන් මෙසේ වදාළ සේක: “විජයශ්‍රීයෙන් මම ෂෙකෙම් නම් පෙදෙස බෙදා දෙන්නෙමි; සුක්කොත් නම් මිටියාවත මැන වෙන් කර දෙන්නෙමි.</verse>
				<verse number="7">ගිලියද් සහ මනස්සේ යන රටවල් මාගේ ය; එප්‍රායිම් දේශය මාගේ හිස් වැස්ම වන්නේ ය; ජුදා පෙදෙස මාගේ රාජකීය ජයකොන්තය වන්නේ ය;</verse>
				<verse number="8">මෝවබ් පෙදෙස මාගේ පා දෝවන බඳුන වන්නේ ය; මාගේ පාවහන් ඒදොම් දේශයට වීසි කොට එය අයිති කරගන්නෙමි; පිලිස්තිය යටත් කොට ජය ඝෝෂා නඟන්නෙමි.”</verse>
				<verse number="9">කොටු පවුරු ඇති පුරයට මා කැඳවාගෙන යන්නේ කවරෙක් ද? ඒදොම් දේශයට මා ජය පෙරහරින් ගෙනයන්නේ කවරෙක් ද?</verse>
				<verse number="10">අහෝ දෙවිඳුනි! ඔබ අප සමඟ කෝප වී සිටින සේක් ද? අප සේනාවන් සමඟ ඔබ නොවඩින සේක් ද?</verse>
				<verse number="11">එදිරිකරුට විරුද්ධ ව ඔබ අපට සහාය දානය කළ මැනව. මන්ද, මිනිසාගේ උපකාරය නිෂ්ඵල වන්නේ ය.</verse>
				<verse number="12">දෙවිඳුන්ගේ සහාය ඇති ව අපි වීරයන් මෙන් සටන් කරන්නෙමු; එතුමාණෝ ම අපේ එදිරිකරුවන් පයින් පාගාදමන සේක.</verse>
			</chapter>
			<chapter number="61">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. අහෝ දෙවිඳුනි! මාගේ මොරගැසීම ඇසුව මැනව; මාගේ යැදුමට සවන් දුන මැනව.</verse>
				<verse number="2">මාගේ සිතෙහි දිරිය සුන් වන කල පාතාල ලොව ගැටියේ සිට මම ඔබට හඬගසමි. මට නැඟිය නොහැකි පර්වතයකට මා ගෙන ගිය මැනව.</verse>
				<verse number="3">මන්ද, ඔබ තුමාණෝ මාගේ සරණය වූ සේක; සතුරාට එරෙහි ව සවි බලකොටුවක් වූ සේක.</verse>
				<verse number="4">මම ඔබේ නිවෙසෙහි සදහට ම වාසය කරන්නෙමි; ඔබේ පියාපත් සෙවණෙහි සරණ ලබන්නෙමි.</verse>
				<verse number="5">අහෝ දෙවිඳුනි! ඔබ මාගේ බාර හාරවලට සවන් දුන් සේක. ඔබේ නාමයට ගරුබිය පාන අයගේ උරුමය මට දුන් සේක.</verse>
				<verse number="6">රජතුමන්ගේ ආයු වැඩි කළ මැනව! එතුමන්ගේ ජීවිත කාලය චිරාත් කාලයක් පවතී වා!</verse>
				<verse number="7">ඒ රජ දෙවිඳුන් අබියස සදහට සිහසුන අරා වැඩ සිටී වා! එතුමා ආරක්ෂා කරනු වස් ඔබ තිර පෙමින් සත්‍යතාව එතුමාට ප්‍රදානය කරන සේක් වා!</verse>
				<verse number="8">එවිට මම නිතර ම ඔබේ නාමයට පැසසුම් ගී ගයන්නෙමි; දිනෙන් දින පොරොන්දු ඉටු කරන්නෙමි.</verse>
			</chapter>
			<chapter number="62">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. මාගේ සිතට සහනය ඇත්තේ දෙවිඳුන් තුළ පමණකි; මට ගැළවීම ලැබෙන්නේ එතුමාණන්ගෙන් පමණකි.</verse>
				<verse number="2">මාගේ පර්වතයත්, ගැළවීමත්, බලකොටුවත් එතුමාණෝ පමණකි; එබැවින් මම නොසැලී සිටින්නෙමි.</verse>
				<verse number="3">මම ඇල වුණ බිත්තියක් ද සෙලවෙන තාප්පයක් ද වැනි මිනිසෙක් වෙමි; ඔබ කොපමණ කල් මට තාඩන පීඩන කරන්නහු ද?</verse>
				<verse number="4">උසස්කමෙන් ඔහු නෙරපාදැමීමට ඔව්හු උපා යොදති; බොරු කීමට ප්‍රිය වෙති; මුවින් ආසිරි පතන නමුත්, සිතින් සාප කරති.</verse>
				<verse number="5">මාගේ සිතට සහනය ඇත්තේ දෙවිඳුන් තුළ පමණකි; මට ගැළවීම ලැබෙන්නේ එතුමාණන්ගෙන් පමණකි.</verse>
				<verse number="6">මාගේ පර්වතයත්, ගැළවීමත්, බලකොටුවත් එතුමාණෝ පමණකි; එබැවින් මම නොසැලී සිටින්නෙමි.</verse>
				<verse number="7">මාගේ ගැළවීමත්, මාගේ මහිමයත් දෙවිඳුන්ගෙන් ය; මාගේ ශක්තිය රඳා ඇති පර්වතයත්, සරණත් එතුමාණෝ ය.</verse>
				<verse number="8">ජනයෙනි, දෙවිඳාණන් තුළ සැමදා විශ්වාසය තබන්න; එතුමාණෝ අප සරණය වන සේක. එතුමාණන් අබිමුව ඔබේ දුක්ගැනවිලි පවසන්න.</verse>
				<verse number="9">පහළ පෙළේ අය සුළං රොදකි; ඉහළ පෙළේ අය මායාවකි; කිරා බලන විට දෙපක්ෂය ම සැහැල්ලු ය. සුළං රොදකටත් වඩා සැහැල්ලු ය.</verse>
				<verse number="10">බලහත්කාරකම කෙරෙහි විශ්වාසය නොතබන්න; කොල්ලකාගත් දේ ගැන සිත යොමු නොකරන්න; වස්තුව වැඩි වුණත් ඊට ඇලුම් නොවන්න.</verse>
				<verse number="11">දෙවිඳුන් මෙසේ පැවසූ බව මා බොහෝ වර අසා ඇත. එනම්, ‘බලය දෙවිඳුන් සතු ය;</verse>
				<verse number="12">
					සමිඳුනි, තිර පෙම ඔබ සතු ය.
					මන්ද, මිනිසා කළ කළ දේ අනුව ඔබ විපාක දෙන සේක’ යනු යි.
				</verse>
			</chapter>
			<chapter number="63">
				<verse number="1">ජුදා දේශයේ පාළුකරයේ දී දාවිත් ලියූ ගීතයකි. දෙවිඳුනි, මාගේ දෙවිඳුනි, දැඩි ආශාවෙන් මම ඔබ සොයන්නෙමි. මා හද ඉතා ගිජු ලෙස ඔබ කෙරෙහි පිපාසයෙන් පෙළෙන්නේ ය. වියළි බිම ජලයට පිපාසා වන පරිදි මම ඉතා ආශාවෙන් ඔබ වෙත ඇදී යන්නෙමි.</verse>
				<verse number="2">ඔබේ ශුද්ධස්ථානයේ දී මම ඔබ දෙස ඕනෑකමින් බලා සිටින්නෙමි. ඔබේ බලය ද මහිමාලංකාරය ද නරඹන්නෙමි.</verse>
				<verse number="3">ඔබේ තිර පෙම මාගේ ජීවිතයටත් වඩා මට අගනේ ය; මාගේ මුව ඔබට ප්‍රශංසා කරන්නේ ය.</verse>
				<verse number="4">මුළු ජීවිතයේ දී ම මම ඔබට ප්‍රශංසා කරන්නෙමි; ඔබේ නාමයෙන් අයැදිමින් මම ඔබ දෙසට දෑත නඟන්නෙමි.</verse>
				<verse number="5">රස මස’වුලින් මෙන් මම සෑහීමට පත් වන්නෙමි; මා මුවින් තුති ගී ගයා මම ඔබ පසසන්නෙමි.</verse>
				<verse number="6">යහනේදීත් මම ඔබ ගැන සිතන්නෙමි; රෑ යාමවල දී ඔබ ගැන මෙනෙහි කරන්නෙමි.</verse>
				<verse number="7">මන්ද, ඔබ වහන්සේ මාගේ ආධාරය වූ සේක. ඔබේ පියාපත් සෙවණෙහි මම ප්‍රීති වන්නෙමි.</verse>
				<verse number="8">ම සිතෙහි ඔබ කෙරෙහි තද ඇල්මක් ඇත; ඔබ දකුණතින් මා උසුලන සේක.</verse>
				<verse number="9">මා වනසනු වස්, මා සොය සොයා සිටින අය ඇත; ඔව්හු පාතාල ලෝකයේ පත්ලට ම යත් වා!</verse>
				<verse number="10">ඔව්හු කඩු මුවහතින් පහර කත් වා! ඔවුහු සිවලුන්ට ගොදුරු වෙත් වා!</verse>
				<verse number="11">එහෙත්, රජ තෙම දෙවිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වන්නේ ය. මුසා දොඩන්නවුන්ගේ මුව පියවෙන විට සමිඳුන් නමින් දිවුරන්නෝ ප්‍රීතිමත් වන්නෝ ය.</verse>
			</chapter>
			<chapter number="64">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. දෙවිඳුනි, මා පැමිණිලි කරන විට මා හඬට කන් දුන මැනව; මේ භයානක සතුරන්ගෙන් මාගේ ජීවිතය ආරක්ෂා කළ මැනව.</verse>
				<verse number="2">දුෂ්ටයන්ගේ උපායවලින් මා රැකගත මැනව; කලහකාරී සෙනඟගෙන් මා ආරක්ෂා කළ මැනව.</verse>
				<verse number="3">ඔව්හු අසිපත් මෙන් තමන්ගේ දිව් මුවහත් කරගනිති; ඔව්හු ඊගස් මෙන් පරුෂ වචන විදිති.</verse>
				<verse number="4">ඔව්හු සැඟවී සිට නිදොස් අයට විදින්නෝ ය; අනතුරු ඇඟවීමක් නොකර හදිසියෙන් විදින්නෝ ය.</verse>
				<verse number="5">දුෂ්ට අරමුණු සඳහා ඔව්හු එකිනෙකාට අනුබල දෙන්නෝ ය; ඔවුන්ගේ උගුල කොතැන සඟවා අටවන්න දැ යි සාකච්ඡා කරන්නෝ ය. “අප දකින කෙනෙක් නැතැ”යි ඔව්හු සිතන්නෝ ය.</verse>
				<verse number="6">“අපේ අපරාධ සොයා ගත හැක්කේ කවරෙකුට ද? අපි කෛරාටික ලෙස උගුලක් ඇටවීමු.” මන්ද මනුෂ්‍යයාගේ සිතුවිලි හා අභ්‍යන්තරය ඉතා ගැඹුරු බැවිනි.</verse>
				<verse number="7">දෙවිඳාණෝ ඔවුන්ට ඊගසින් විදින සේක; අනතුරු ඇඟවීමක් නොකර හදිසියෙන් ඔවුන්ට තුවාළ කරන සේක.</verse>
				<verse number="8">අති උත්තමයාණෝ මුසා දොඩන්නන් වනසන සේක. ඔවුන් දකින සියල්ලෝ හිස් වනන්නෝ ය.</verse>
				<verse number="9">මිනිසුන් සැම දෙන බිය වී දෙවිඳුන්ගේ ක්‍රියා ප්‍රකාශ කරන්නෝ ය. “එතුමාණන් එසේ කෙළේ කුමක් නිසා දැ”යි ඔව්හු සිතන්නෝ ය.</verse>
				<verse number="10">දැහැමියා, සමිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වී එතුමාණන් සරණ සොයා යන්නේ ය; අවංක සිතැති තැනැත්තා ප්‍රීතියෙන් පිරී යන්නේ ය.</verse>
			</chapter>
			<chapter number="65">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. සියොන්හි දෙවිඳුනි, ඔබට පැසසුම් හිමි ය. අපි ඔබට බාරහාර ඔප්පු කරන්නෙමු.</verse>
				<verse number="2">මන්ද, ඔබ අපේ යැදුමට සවන් දෙන සේක. සියල්ලෝ තම තමන්ගේ පව් නිසා ඔබ වෙත ආ යුත්තෝ ය.</verse>
				<verse number="3">අපේ පව්කම් අපට ඉසිලිය නොහැකි ය; ඔබ තුමාණන් ඒවාට කමා වුව මැනව.</verse>
				<verse number="4">ඔබේ රජ මැදුරෙහි වසන පිණිස ඔබ තෝරාගත් තැනැත්තා කොපමණ වාසනාවන්ත ද? ඔබේ දෙව් මැදුර වන ඔබේ නිවෙසෙහි යහපත් දෙයින් අප සෑහීමට පත් කළ මැනව.</verse>
				<verse number="5">ගැළවුම්කාර දෙවිඳුනි, ඔබේ ප්‍රබල ක්‍රියා මඟින් අප ගළවාගත මැනව; මුළු පොළොවේ ද ඈත සමුදුරේ ද බලාපොරොත්තුව ඔබ වන සේක.</verse>
				<verse number="6">ඔබ තුමාණෝ සවිය යොදා කඳු හෙල් පිහිටෙවු සේක; ඔබ බලපරාක්‍රමය නමැති ඉඟ පටියෙන් සැරසුණු සේක.</verse>
				<verse number="7">සමුදුරු ගිගුරුම් ද රළ ගොස ද ඔබ නිසල කළ සේක; සෙනඟගේ ආරාවුල් සමථයට පත් කළ සේක.</verse>
				<verse number="8">මිහි පිට සියල්ලෝ ඔබ පෑ ලකුණු දැක බියෙන් තැතිගෙන සිටින්නෝ ය; නැඟී එන උදයට ද බැස යන සවසට ද ප්‍රීතියෙන් මොරගසන්නට ඔබ සැලැසූ සේක.</verse>
				<verse number="9">ඔබ පොළොව දෙස බලා, එයට වැහි වස්වා, එය සරුසාර කරන සේක. අහස් ගඟ දිය දහරින් පිරී ඇත. ඔබ පොළොව මෙසේ පිළියෙළ කොට ධාන්‍ය සපයා දෙන සේක.</verse>
				<verse number="10">එහි හීවිටි බොහෝ සේ දියෙන් පොඟවා පස් පිඬලි සමතලා කරන සේක. ඒ පිට බහුල ව වැසි වස්වා, පොළොව බුරුල් කර එහි වගාවට ආසිරි දෙන සේක.</verse>
				<verse number="11">ඔබ වැසි වස්වා රට සරුසාර කරවන සේක; ඔබ සැරිසරන තැන සාරත්වය උතුරා යන්නේ ය.</verse>
				<verse number="12">පාළුකරයේ තණ බිම සරුසාර වනු ඇත; කඳු හෙල් ප්‍රීතියෙන් උදම් අනනු ඇත.</verse>
				<verse number="13">තණ බිම එළු බැටළු පට්ටිවලින් පිරී ඇත. මිටියාවත් ධන ධාන්‍යයෙන් සපුරාලන සේක. ඒවා ප්‍රීතියෙන් කුල්මත් වී ගී ගයයි.</verse>
			</chapter>
			<chapter number="66">
				<verse number="1">ගීතයකි. ලෝ වැසි සියල්ලෙනි, දෙවිඳුන් හට ප්‍රීති ඝෝෂා පවත්වන්න.</verse>
				<verse number="2">එතුමන්ගේ කීර්තිමත් නාමයට ගී ගයන්න.</verse>
				<verse number="3">දෙවි තුමන්ට මෙලෙස කියන්න: “ඔබේ ක්‍රියා කොපමණ බියජනක ද? ඔබේ බලපරාක්‍රමය අතිමහත් ය. එබැවින් ඔබේ සතුරෝ ඔබ අබිමුව බියෙන් මිරිකෙන්නෝ ය.</verse>
				<verse number="4">ලෝ වැසි සියල්ලෝ ඔබ නමදින්නෝ ය; ඔබට ගී ගයා ඔබේ නම පසසන්නෝ ය.</verse>
				<verse number="5">එන්න, දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා නරඹන්න. එතුමන්ගේ ක්‍රියා මිනිසුන් අතර බියජනක ය.</verse>
				<verse number="6">
					එතුමාණෝ මුහුද වියළි බිමක් කළ සේක.
					සෙනඟ එය මැදින් පයින් ගමන් කළෝ ය. එබැවින් එතුමන් තුළ අපි ප්‍රීති ප්‍රමෝද වන්නෙමු.
				</verse>
				<verse number="7">එතුමාණෝ බලපරාක්‍රමයෙන් සදහට ම ලොව පාලනය කරන සේක; එතුමාණෝ විජාතීන් දෙස නෙත් යොමා බලන සේක. කිසි ම කැරලිකරුවෙක් එතුමන්ට එරෙහි ව නොනැඟිටී වා!</verse>
				<verse number="8">ජනතාවෙනි, අපේ දෙවිඳුන් හට ආසිරි පතන්න; එතුමන් වෙත නඟන පැසසුම පතුරුවා හරින්න.</verse>
				<verse number="9">එතුමාණෝ ජීවතුන් අතර අප රැක ගත් සේක; අපේ පාද නොපැකිළෙන්නට සැලැසූ සේක.</verse>
				<verse number="10">අහෝ දෙවිඳුනි! ඔබ අප පරීක්ෂා කළ සේක; රිදී සෝදිසි කරන පරිදි ඔබ අප සෝදිසි කළ සේක.</verse>
				<verse number="11">ඔබ අප දැලට අසු කරගත් සේක; අපේ කර පිට තද බර පැටවූ සේක.</verse>
				<verse number="12">අප පාගා දැමීමට අප සතුරන් හට ඔබ ඉඩ දුන් සේක; අපි ගිනි මැදින් ද ජලය මැදින් ද ගියෙමු. එහෙත්, ඔබ අප සුරැකි බිමට ගෙනා සේක.</verse>
				<verse number="13">දවන යාග පූජා රැගෙන මම ඔබේ නිවාසයට ඇතුල් වන්නෙමි; මාගේ බාරහාර මම ඔබට ඔප්පු කරන්නෙමි.</verse>
				<verse number="14">මාගේ තොල්වලින් මම ඒ බාරහාර ප්‍රකාශ කෙළෙමි; මම මාගේ විපතේ දී මා මුවින් ඒවා උච්චාරණය කෙළෙමි.</verse>
				<verse number="15">දැවෙන බැටළු පැටවුන්ගේ සුවඳ දුම් සමඟ තරබාරු සතුන්ගෙන් දවන යාග පූජා පුදන්නෙමි. මම ගවයන් ද එළුවන් ද පුදන්නෙමි.</verse>
				<verse number="16">දෙවිඳුන් නමදින සියල්ලෙනි! එන්න, සවන් දෙන්න. එවිට එතුමාණන් මට කළ දේ මම කියා දෙන්නෙමි.</verse>
				<verse number="17">මා මුවින් මම එතුමන්ට මොරගැසුවෙමි; මාගේ දිවෙන් එතුමන්ගේ මහිමය ඉහළින් වර්ණනා කෙළෙමි.</verse>
				<verse number="18">වරදට මා හද තුළ ආශාවක් තිබේ නම්, මා සමිඳාණෝ මට කවදාවත් සවන් නොදෙන සේක.</verse>
				<verse number="19">එහෙත්, දෙවිඳාණෝ මට සවන් දුන් සේක; මාගේ අයැදුම් හඬ ද සලකා බැලූ සේක.</verse>
				<verse number="20">දෙවිඳුන්ට ප්‍රශංසා වේ වා! මාගේ අයැදුම එතුමාණෝ ඉවත නොදැමූ සේක; සිය පෙමින් මා ඈත් නොකළ සේක.</verse>
			</chapter>
			<chapter number="67">
				<verse number="1">කාව්‍යයකි; ගීතයකි. දෙවිඳාණෝ අප වෙත දයාව පෙන්වමින් අපට ආශීර්වාද කරන සේක් වා! ස්වකීය මුහුණ අප කෙරෙහි බබළවන සේක් වා!</verse>
				<verse number="2">එවිට මුළු ලොව ඔබේ කැමැත්ත දැනගන්නේ ය; සියලු විජාතීහු ඔබේ ගැළවීමේ බලය දැනගන්නෝ ය.</verse>
				<verse number="3">අහෝ දෙවිඳුනි, ජනතාවෝ ඔබ පසසත් වා! සියලු ජාතීහු ඔබ පසසත් වා!</verse>
				<verse number="4">ඔබ සාධාරණ ලෙස මිනිසුන් විනිශ්චය කරන සේක; මිහි පිට සියලු විජාතීන් හට ඔබ මඟපෙන්වන සේක; එබැවින් සකල ජනයා ප්‍රීතිමත් ව සතුටින් ගී ගයත් වා!</verse>
				<verse number="5">අහෝ දෙවිඳුනි, ජනතාවෝ ඔබ පසසත් වා! සියලු ජාතීහු ඔබ පසසත් වා!</verse>
				<verse number="6">පොළොව පලදාව බහුල ව නිපදවිය; දෙවිඳාණෝ, අපේ දෙවිඳාණෝ, අපට ආසිරි දුන් සේක.</verse>
				<verse number="7">අපේ දෙවිඳාණෝ අපට ආසිරි වස්වන සේක් වා! පොළෝ වැසි සියල්ලෝ එතුමන්ට ගරු කරත් වා!</verse>
			</chapter>
			<chapter number="68">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි, කාව්‍යයකි. දෙවිඳාණෝ නැඟිට සතුරන් විසුරුවා හරින සේක. එතුමන්ට වෛර කරන්නෝ එතුමන් ඉදිරියෙන් පලා යන්නෝ ය.</verse>
				<verse number="2">සුළඟට ගසාගෙන යන දුමක් මෙන් එතුමාණෝ ඔවුන් පහකරන සේක; ගිනි ළඟ දිය වන ඉටි මෙන් දෙවිඳුන් අබිමුව දුදනෝ වැනසී යෙත් වා!</verse>
				<verse number="3">එහෙත්, දැහැමියෝ දෙවිඳුන් අබිමුව ප්‍රීති ප්‍රමෝද වෙත් වා! ප්‍රීතියෙන් කුල්මත් වී ගී ගයත් වා!</verse>
				<verse number="4">දෙවිඳුන්ට ගී ගයන්න; එතුමන්ගේ නම කියා එතුමන් පසසන්න. වලාකුළු අරා වඩින සමිඳුන් හට මාවතක් පිළියෙළ කරන්න; එතුමන්ගේ නාමය සමිඳාණෝ ය, එතුමන් අබිමුව ප්‍රීතියෙන් සිටින්න.</verse>
				<verse number="5">එතුමාණෝ, අනාථයන්ගේ පියාණෝ ද වැන්දඹුවන්ගේ ආරක්ෂකයාණෝ ද වන සේක. සිය ශුද්ධ නිවාසයෙහි වසන එතුමාණෝ දෙවිඳාණෝ ය.</verse>
				<verse number="6">දෙවිඳාණෝ අනාථ වූවන්ට නිවෙස් තනා දෙන සේක; හිරකරුවන්ට නිදහස දෙන සේක; එහෙත්, කැරලිකරුවන් මරුකතරේ විසීමට හරින සේක.</verse>
				<verse number="7">අහෝ දෙවිඳුනි! සෙනඟට පෙරටුවෙන් ඔබ ගමන් කළ සේක; කාන්තාරය ඔස්සේ යුද පෙරහරින් ඔබ වැඩිය සේක.</verse>
				<verse number="8">
					පොළොව කම්පා විය, අහසින් වැසි වැස්සේ ය;
					ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් අබිමුව සීනයි කන්ද පවා කම්පනය විය.
				</verse>
				<verse number="9">අහෝ දෙවිඳුනි! ඔබ බහුල ව වැසි වස්වන සේක; ඔබේ උරුමය මැලවී යන විට ඔබ එය යළි සාරවත් කළ සේක.</verse>
				<verse number="10">ඔබේ සෙනඟ එහි පදිංචි වූ හ; අහෝ දෙවිඳුනි! එහි දිළිඳුන් හට උවමනා දේ ඔබ සපයා දුන් සේක.</verse>
				<verse number="11">සමිඳාණෝ අණ දුන් සේක. බොහෝ දූතයෝ ආරංචිය පතුරුවා හළහ.</verse>
				<verse number="12">රජවරු ද ඔවුන්ගේ සේනාවෝ ද පලා යන්නෝ ය;</verse>
				<verse number="13">බැටළු රැළ රකිමින් ගෙදර සිටින බවලත්හු කොල්ලය බෙදා ගන්නෝ ය. ඒ කොල්ලයේ රිදී කොබෙයි රූප විය. අත්තටු පච්ච පාට රනින් ද ඔප දමා තිබුණේ ය.</verse>
				<verse number="14">සව් බලැති දෙවිඳාණෝ සල්මොන් කන්ද පිට රජුන් විසුරුවා හැරිය සේක; එවිට ඔබ එහි හිම වැටෙන්නට සැලැසූ සේක.</verse>
				<verse number="15">බාෂාන් කන්ද අති උස් කන්දකි; එය බොහෝ ශිඛර ඇති කන්දකි.</verse>
				<verse number="16">එම්බා ශිඛර බහුල කන්ද! දෙවිඳාණන් තමන් නිවෙස ලෙස තෝරාගත් කන්ද දෙස ඔබ ඊර්ෂ්‍යාවෙන් බලන්නේ මන් ද? සමිඳාණෝ සදහට ම එහි වාසය කරන සේක.</verse>
				<verse number="17">යුද්ධ රථ දසදහස් ගණන් සමඟ සමිඳාණෝ සීනයි කන්දෙන් ශුද්ධස්ථානයට වඩින සේක.</verse>
				<verse number="18">
					එතුමාණෝ අල්ලාගත් සිරකරුවන් උස් කන්දට ගෙන ගිය සේක.
					කැරලිකරුවන්ගෙන් පඬුරු ලැබූ සේක. දෙවි සමිඳාණෝ සදහට ම එහි වාසය කරන සේක.
				</verse>
				<verse number="19">දවසින් දවස අපේ බර උසුලන සමිඳුන් හට පැසසුම් වේ වා! එතුමාණෝ අප ගළවන දෙවිඳාණෝ වන සේක.</verse>
				<verse number="20">අපේ දෙවිඳාණෝ, අප ගැළවුම්කාර දෙවිඳාණෝ වන සේක; අප මරණින් මුදන දෙවි සමිඳාණෝ වන සේක.</verse>
				<verse number="21">දෙවිඳාණෝ සතුරන්ගේ හිස් පොඩි කරදමන සේක; පවිටු මඟෙහි ඇලී ගැලී සිටින අයගේ හිස් ගසාදමන සේක.</verse>
				<verse number="22">සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම බාෂාන් දේශයෙන් ඔබේ සතුරන් ආපසු ගෙනෙන්නෙමි; සමුදුර පත්ලෙන් ඔවුන් ආපසු ගෙනෙන්නෙමි.</verse>
				<verse number="23">එවිට ඔබේ පාද ඔවුන්ගේ ලෙයින් සෝදාගත හැකි වන්නේ ය; ඔබේ බල්ලෝ සතුරන්ගේ ලේ ඕනෑ පමණ ලෙව කන්නෝ ය.”</verse>
				<verse number="24">දෙවිඳුනි, සියල්ලෝ ඔබේ ජය පෙරහර දකින්නෝ ය; සිය ශුද්ධස්ථානයට යන මඟ මාගේ දෙවි රජිඳුන්ගේ ගමන නරඹන්නෝ ය.</verse>
				<verse number="25">ගායකයෝ පෙරටුවෙන් ද සංගීතකරුවෝ පසුපසින් ද යන්නෝ ය; ලලනාවෝ සිඟිති රබන් පොඩි ගසමින් මැදින් ගමන් කරන්නෝ ය.</verse>
				<verse number="26">සභාව තුළ දෙවිඳාණන් පසසන්න. ඉශ්රායෙල් ජනතාවෙනි, සමිඳාණන් පසසන්න.</verse>
				<verse number="27">කුඩා ම පෙළපත වන බෙන්ජමින්ගේ පෙළපත මුලින් ම ගමන් කරන්නෝ ය. ඉන්පසු ජුදාගේ ද සාබුලොන්ගේ ද නප්තලීගේ ද කුමරුවෝ ගමන් කරන්නෝ ය.</verse>
				<verse number="28">දෙවිඳුනි! ඔබේ ශක්තිය දැක්වුව මැනව. දෙවිඳුනි, ඔබ අප උදෙසා දැක්වූ බලය පෑව මැනව.</verse>
				<verse number="29">ජෙරුසලමෙහි ඇති ඔබේ මන්දිරය නමින් රජවරු පඬුරු ගෙනවුත් ඔබට පුදන්නෝ ය.</verse>
				<verse number="30">රජවරුන් යටහත් වී රිදී පඬුරු ගෙනෙන තෙක්, බට ගස් අතර සිටින වන සතා වන මිසරයට ද ඔහුගේ පැටවුන් සහිත වන ගව රැළ වන විජාතීන්ට ද තරවටු කළ මැනව. සටනට ලැදි වන සියලු සෙනඟ විසුරුවා හැරිය මැනව.</verse>
				<verse number="31">මිසරයෙන් තානාපතීහු නික්ම එන්නෝ ය; එතියෝපියාව දෙවිඳුන් වෙත අයැදිමින් අත් දිගු කරන්නේ ය.</verse>
				<verse number="32">මුළු ලොවෙහි රාජ්‍යයෙනි, දෙවිඳුන් හට ගායනා කරන්න; සමිඳුන් හට පසස් ගී ගයන්න.</verse>
				<verse number="33">ආදි කාලීන අහස් තලයෙනි, අහස් කුස සැරිසරන හිමි තුමන්ට ගායනා කරන්න; එතුමන්ගේ හඬ වන ගිගුරුම් හඬට සවන් දෙන්න.</verse>
				<verse number="34">දෙවිඳුන්ගේ බලය ප්‍රකාශ කරන්න. එතුමන්ගේ මහිමය ඉශ්රායෙල් කෙරෙහි ය; එතුමන්ගේ බලය අහස් කුස ඇත්තේ ය.</verse>
				<verse number="35">සිය ශුද්ධස්ථානයෙහි වසන දෙවිඳාණෝ බියජනක ය; එතුමාණෝ ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳාණෝ ය. එතුමාණෝ සෙනඟට බලය ද ශක්තිය ද දෙන සේක. දෙවිඳුන්ට පැසසුම් වේ වා!</verse>
			</chapter>
			<chapter number="69">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. අනේ දෙවිඳුනි! මා මුදාලුව මැනව. කුමක් නිසා ද, දිය කඳ මාගේ ගෙල දක්වා නැඟී ඇත්තේ ය.</verse>
				<verse number="2">මම පය තැබීමට තැනක් නොමැති මඩ ගොහොරුවේ කිඳා සිටිමි; මම ගැඹුරු දියට පැමිණ සිටිමි. රළපතර මා යට කර උඩින් ගලා යයි.</verse>
				<verse number="3">මොරගැසීමෙන් මා විඩාපත් ව මාගේ උගුර වියළී ඇත්තේ ය. මාගේ දෙවිඳුන් ගැන බලා සිටීමෙන් දෙනෙත අඳුරු වී ඇත්තේ ය.</verse>
				<verse number="4">
					නිකරුණේ මට වෛර කරන්නන්ගේ ගණන මාගේ ඉසකෙස්වලටත් වඩා වැඩි ය.
					මුසා දොඩමින් මා වනසන්නට බලන අය බලවත් ය. එබැවින් මා සොරා නොගත් දේ ආපසු දෙන්න ඔව්හු මට බල කරන්නෝ ය.
				</verse>
				<verse number="5">අනේ දෙවිඳුනි! ඔබ මාගේ මෝඩකම දන්න සේක. මාගේ වැරදි ඔබෙන් සැඟවී නැත්තේ ය.</verse>
				<verse number="6">සව් බලැති මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබ කෙරෙහි බලාපොරොත්තුව තබන්නෝ මා නිසා ලජ්ජාවට පත් නොවෙත් වා! ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුනි, ඔබ සොයන්නෝ මා නිසා නින්දාවට නොපැමිණෙත් වා!</verse>
				<verse number="7">ඔබ තුමන් උදෙසා මම අපවාදයට ලක් වුණෙමි. මාගේ මුහුණ ඒ ලජ්ජාවෙන් වැසී ඇත්තේ ය.</verse>
				<verse number="8">මාගේ සොහොයුරන්ට මම නාඳුනන්නෙක් වීමි; මාගේ මවගේ පුත්‍රයන් හට මම විදේශිකයෙක් වීමි.</verse>
				<verse number="9">
					ඔබේ දෙව් මැදුරට ඇති උද්‍යෝගය මා දවන්නේ ය.
					ඔබට නින්දා කරන්නන්ගේ නින්දා මා පිට පැටවී ඇත්තේ ය.
				</verse>
				<verse number="10">එබැවින් මා කඳුළු සලමින් උපවාස කරන විට සෙනඟ මට නින්දා කරන්නෝ ය.</verse>
				<verse number="11">ගෝණි රෙද්දෙන් මාගේ වස්ත්‍ර මම සාදාගතිමි. එවිට මම ඔවුන්ගේ සමච්චලයට ලක් වුණෙමි.</verse>
				<verse number="12">මඟ තොටේ කට කතාව මා ගැන ය; බේබද්දෝ මා ගැන අවමන් කවි කියන්නෝ ය.</verse>
				<verse number="13">එහෙත් සමිඳුනි, මාගේ අයැදුම ඔබට ය. අනේ දෙවිඳුනි! ඔබ රිසි වේලාවක මට පිළිතුරු දුන මැනව! ඔබේ අධික ප්‍රේමයෙන් ඔබ දුන් ගැළවීමේ පොරොන්දුව ඉටු කරන නිසා, මට උත්තර දුන මැනව!</verse>
				<verse number="14">මට එරී යන්න නොදී මඩ වගුරෙන් මා මුදාගත මැනව! මාගේ සතුරාගෙන් ද ගැඹුරු ජලයෙන් ද මා මුදාගත මැනව!</verse>
				<verse number="15">රළ පතරට මම යට නොවෙම් වා! ගැඹුරු සමුදුරට මම ගොදුරු නොවෙම් වා! පාතාලය මුව අයා මා ගිල නොගනී වා!</verse>
				<verse number="16">සමිඳුනි, ඔබේ තිර පෙම යහපත් බැවින් මට පිළිතුර දුන මැනව! ඔබේ ඉමහත් දයාව අනුව ඔබේ මුහුණ මා වෙත හැරෙව්ව මැනව!</verse>
				<verse number="17">ඔබේ දාසයා වෙතින් ඔබ මුහුණ ඉවතට නොගත මැනව! මා විපතට පත් ව සිටින බැවින් යුහු ව මට පිළිතුරු දුන මැනව!</verse>
				<verse number="18">මා වෙත ළඟා වී මා ගළවාගත මැනව; සතුරන්ගෙන් මා මුදාගත මැනව!</verse>
				<verse number="19">මාගේ නින්දාව ද ලජ්ජාව ද අපකීර්තිය ද ඔබ දන්න සේක; ඔබ මාගේ සියලු සතුරන් දන්න සේක.</verse>
				<verse number="20">නින්දාව නිසා මාගේ සිත බිඳී ගොස් මම ශෝකයෙන් පිරී සිටිමි. සනසන්නෙකු සෙවුවෙමි; එවැන්නෙක් නො වී ය. අස්වසන්නෙකු සෙවුවෙමි; කිසිවෙක් සම්බ නො වී ය.</verse>
				<verse number="21">
					සාගින්නේ දී ඔව්හු මට වහ දුන්නෝ ය;
					පිපාසයේ දී ඔව්හු මට තිත්ත කාඩි බොන්න දුන්නෝ ය.
				</verse>
				<verse number="22">
					ඔවුන්ගේ කෑම මේසය ඔවුන්ට ම මලපතක් වේ වා!
					ඔවුන්ගේ මංගල උත්සව ඔවුන්ට මර උගුලක් වේ වා!
				</verse>
				<verse number="23">නොපෙනෙන ලෙස ඔවුන්ගේ ඇස් අඳුරු වේ වා! ඔවුන්ගේ ඉඟටිය නිබඳ සැලේ වා!</verse>
				<verse number="24">ඔබේ කෝපය ඔවුන් පිට වැගිරෙව්ව මැනව! ඔබේ කෝපාග්නියට ඔව්හු යටපත් වෙත් වා!</verse>
				<verse number="25">
					ඔවුන්ගේ කඳවුරු පාළු වන්නට සැලසුව මැනව!
					ඔවුන්ගේ කූඩාරම් තුළ කිසිවෙක් නොවෙසෙත් වා!
				</verse>
				<verse number="26">මන්ද, ඔබ පහර දුන් තැනැත්තාට ඔව්හු පීඩා කළෝ ය. ඔබ තුවාළ කළ තැනැත්තාගේ වේදනාව ඔව්හු තව තවත් වැඩි කළෝ ය.</verse>
				<verse number="27">එබැවින් අපරාධ පිට අපරාධ ඔවුන් පිට පැවරුව මැනව! ඔබේ ධර්මිෂ්ඨකමට ඔවුන්ට හවුල් වන්නට ඉඩ නුදුන මැනව!</verse>
				<verse number="28">
					ජීවතුන්ගේ පොතෙන් ඔවුන්ගේ නාම මකාදැමුව මැනව!
					දැහැමියන්ගේ නාම අතරෙන් ඔවුන්ගේ නාම කපාදැමුව මැනව!
				</verse>
				<verse number="29">එහෙත්, මම පීඩා විඳිමින් වේදනාවෙන් සිටිමි. අනේ දෙවිඳුනි! මා සනසා, මා ගළවා ගත මැනව!</verse>
				<verse number="30">එවිට මම ගී ගයා දෙවිඳුන් පසසන්නෙමි; තුති ගී ගයමින් මම එතුමන් බොහෝ සේ පසසන්නෙමි.</verse>
				<verse number="31">ගවයෙකු පිදීමට වඩා මෙවැන්නක් සමිඳුන්ට ප්‍රසන්න වන්නේ ය. අං සහ කුර සහිත ගොනෙකු පිදීමට වඩා එය ප්‍රසන්න වන්නේ ය.</verse>
				<verse number="32">පීඩිතයෝ මෙය දැක ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය; දෙවිඳුන් සොයා යන්නෝ දිරිමත් වන්නෝ ය.</verse>
				<verse number="33">මන්ද, සමිඳාණෝ දිළිඳුන් හට සවන් දෙන සේක; හිරගත වී සිටින තම සෙනඟ අත් නොහරින සේක.</verse>
				<verse number="34">අහසත්, පොළොවත් උන් වහන්සේට ප්‍රශංසා කරත් වා! මුහුදත්, එහි හැසිරෙන සියල්ලෝත් එතුමන්ට ප්‍රශංසා කරත් වා!</verse>
				<verse number="35">දෙවිඳාණෝ සියොන් කන්ද මුදාගෙන ජුදාගේ නගර ගොඩනඟන සේක. එතුමන් සෙනඟ එහි වසමින් එය භුක්ති විඳින්නෝ ය.</verse>
				<verse number="36">එතුමන්ගේ සේවක පෙළපත එය උරුම කරගන්නෝ ය. දෙව් නමට පෙම් කරන්නෝ එහි වාසය කරන්නෝ ය.</verse>
			</chapter>
			<chapter number="70">
				<verse number="1">දාවිත්ගේ ගීයකි; සැමරීම පිණිස ය. අනේ දෙවිඳුනි! මා මුදාගත මැනව! අනේ සමිඳුනි! මට සහාය වීමට ඉක්මන් වුව මැනව!</verse>
				<verse number="2">මා නැසීමට සොයන්නෝ ලජ්ජා වී වියවුල් වෙත් වා! මාගේ විනාශයට ආශා වූවෝ පසු බැස අපකීර්තියට පැමිණෙත් වා!</verse>
				<verse number="3">“හහා, හහා” කියමින් මට සමච්චල් කරන්නෝ තමන්ට වන නින්දාව නිසා පසු බසිත් වා!</verse>
				<verse number="4">ඔබ සොයා එන්නෝ ප්‍රීති ප්‍රමෝදයෙන් සතුටු වෙත් වා! ඔබ දෙන විමුක්තියට ප්‍රේම කරන්නෝ ‘දෙවිඳාණෝ ශ්‍රේෂ්ඨ ය’යි නිතර ම කියත් වා!</verse>
				<verse number="5">එහෙත්, මම දිළිඳු ය; අසරණ ය. අනේ දෙවිඳුනි! මා වෙත කඩිනමින් වඩිනු මැනව! අනේ සමිඳුනි! ඔබ මාගේ පිහිට ද ගැළවුම්කරු ද වන බැවින් පමා නොවුව මැනව!</verse>
			</chapter>
			<chapter number="71">
				<verse number="1">අහෝ සමිඳුනි! සරණ පතා මම ඔබ වෙත පැමිණියෙමි. කිසි කලක මා ලජ්ජාවට පත් නොකළ මැනව!</verse>
				<verse number="2">ඔබේ සාධාරණකම නිසා මට පිහිට වී මා මුදාලුව මැනව! මට සවන් දී මා ගැළෙවුව මැනව!</verse>
				<verse number="3">ඔබ මාගේ පර්වතය ද බලකොටුව ද වන බැවින් ඔබ මට රැකවරණය දෙන පර්වතයක් වුව මැනව! මා මුදාලන බලකොටුවක් වුව මැනව!</verse>
				<verse number="4">මාගේ දෙවිඳුනි! දුෂ්ටයන්ගේ බලයෙන් මා මුදාගත මැනව; අපරාධකරුගේ ද දුදනාගේ ද ග්‍රහණයෙන් මා මිදුව මැනව!</verse>
				<verse number="5">මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබ මාගේ බලාපොරොත්තුව වන සේක. සමිඳුනි, මාගේ තරුණ වියේ සිට මාගේ විශ්වාසය මම ඔබ තුළ තැබුවෙමි.</verse>
				<verse number="6">උපන් දා සිට ඔබ මට පිහිට වූ සේක; මවු කුසේ සිට ඔබ මා රැකගත් සේක. මම ඔබ ගැන නිරතුරු ප්‍රශංසා කරන්නෙමි.</verse>
				<verse number="7">මම වනාහි බොහෝ දෙනෙකුට ගැටළුවක් මෙන් වූයෙමි. මන්ද, ඔබ මාගේ බලවත් රක්ෂස්ථානය වූ සේක.</verse>
				<verse number="8">මාගේ මුඛය ඔබ පැසසීමෙන් පිරී ඇත්තේ ය. මම දවස පුරා ඔබ මහිමය ප්‍රකාශ කරන්නෙමි.</verse>
				<verse number="9">මහලු වියේ දී මා ඉවත් නොකළ මැනව; මාගේ ශක්තිය පිරිහෙන කල මා අත් නොහැරිය මැනව!</verse>
				<verse number="10">මාගේ සතුරෝ මට විරුද්ධ ව කතා කරන්නෝ ය. මගේ පණ නැසීමට බලා සිටින්නෝ එකට කුමන්ත්‍රණය කරන්නෝ ය.</verse>
				<verse number="11">“දෙවිඳාණෝ ඔහු අත්හැරිය සේක. ඔහු ගැළවීමට කිසිවෙකු නැති බැවින් අපි ඔහු ලුහුබැඳ අල්ලාගනිමු”යි ඔව්හු කියන්නෝ ය.</verse>
				<verse number="12">මාගේ දෙවිඳුනි! මාගෙන් ඈත් නුවුව මැනව! අනේ මාගේ දෙවිඳුනි! මට සහාය වීමට කඩිනමින් වැඩිය මැනව!</verse>
				<verse number="13">මට පහර දෙන්නෝ පරාජය වී වැනසෙත් වා! මට හානි කරන්නට සොයන්නෝ ලජ්ජාවටත්, අපකීර්තියටත් පැමිණෙත් වා!</verse>
				<verse number="14">එහෙත්, මම නිරතුරු ඔබ බලාපොරොත්තුවෙන් සිටින්නෙමි; නිතර ම වැඩි වැඩියෙන් ඔබට ප්‍රශංසා කරන්නෙමි.</verse>
				<verse number="15">දවස පුරා ඔබේ සාධාරණ ක්‍රියා ද ඔබේ විමුක්තිදායක ක්‍රියා ද මා මුවින් ප්‍රකාශ කරමි. මන්ද, මම ඒවායේ ප්‍රමාණය නොදන්නෙමි.</verse>
				<verse number="16">දෙවි සමිඳුනි, ඔබේ බල මහිමය මම පසසන්නෙමි, ඔබේ ම, එසේ ය ඔබේ ම යහපත්කම මම ප්‍රකාශ කරන්නෙමි.</verse>
				<verse number="17">අනේ දෙවිඳුනි! මාගේ තරුණ වියේ සිට ඔබ මට උගන්වා වදාළ සේක. මම අද දක්වා ඔබේ පුදුමාකාර ක්‍රියා වර්ණනා කෙළෙමි.</verse>
				<verse number="18">අනේ දෙවිඳුනි! පැසුණු කෙස් සහිත ව මහලු වියේ සිටින මා අත්නෑරිය මැනව. ඔබේ මහිමය සහ ශක්තිය මතු පරම්පරාවලට කියා පාන තෙක් මා සමඟ සිටිය මැනව.</verse>
				<verse number="19">අනේ දෙවිඳුනි! ඔබේ දැහැමිකම අහස දක්වා උසස් ය. ඔබ ප්‍රබල ක්‍රියා කළ සේක. ඔබට සමාන අන් කෙනෙක් නැත්තේ ය.</verse>
				<verse number="20">ඔබ මට බොහෝ කරදර සහ වේදනා පැමිණෙවු නමුත්, මා යළි ප්‍රාණවත් කරන සේක. පාතාලයේ පත්ලෙන් ඔබ මා යළි ගොඩගන්න සේක.</verse>
				<verse number="21">ඔබ මා උසස් කරන සේක. ඔබ මා නැවත සනසන සේක.</verse>
				<verse number="22">මාගේ දෙවිඳුනි! මම කුඩා වීණාවෙන් ඔබ ද ඔබේ විශ්වාසවන්තකම ද පසසන්නෙමි. ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැන් වහන්ස, මහා වීණාවෙන් මම ඔබට ගී ගයන්නෙමි.</verse>
				<verse number="23">මම ඔබට ගී ගයමින් ප්‍රශංසා කරන්නෙමි; ඔබ මා මිදූ බැවින් මම ඔබට හද පත්ලෙන් ගී ගයන්නෙමි.</verse>
				<verse number="24">දවස පුරා මම ඔබේ දැහැමි ක්‍රියා ගැන කතා කරන්නෙමි. මන්ද, මාගේ විනාශය සොයන්නන් ලජ්ජාවටත්, වියවුලටත් පත් කර ඇත.</verse>
			</chapter>
			<chapter number="72">
				<verse number="1">සලමොන් රජුගේ ගීතයකි. දෙවිඳුනි, රජතුමාට ඔබගේ විනිශ්චය කිරීමේ ඥානය දුන මැනව! රජ කුමරු හට යුක්තිගරුක ව ක්‍රියා කිරීමට ඔබගේ හැකියාව දුන මැනව!</verse>
				<verse number="2">එවිට එතුමා ඔබේ ජනතාව සාධාරණ ලෙස පාලනය කරන්නේ ය. ඔබේ පීඩිත ජනතාවට යුක්තිය ඉටු කරන්නේ ය.</verse>
				<verse number="3">කඳු වැටි ඔබේ ජනතාවට සමෘද්ධිය ගෙනේ වා! කඳුහෙල් ඔබේ ජනතාවට යුක්තිය ඉටු කෙරේ වා!</verse>
				<verse number="4">රජ තෙම ජනතාව අතර දිළිඳුන්ගේ නඩු විසඳා වා! අසරණයන් මුදාගනී වා! පීඩාකරුවන් වනසා වා!</verse>
				<verse number="5">ඉර හඳ පවතින තාක් ඔබේ ජනතාව ඔබට නමදිත් වා! පරපුරෙන් පරපුරට ම එලෙස කරත් වා!</verse>
				<verse number="6">කැපූ තණ කෙත් මත වර්ෂාව මෙන් රජ තෙම වැජඹේ වා! වියළි බිම මත වැසි මෙන් නිරිඳු වඩී වා!</verse>
				<verse number="7">එතුමන් සමයෙහි දමිටු බව දියුණු වේ වා! ඉර හඳ පවතින තෙක් සාමය පැතිරේ වා!</verse>
				<verse number="8">
					මුහුදින් මුහුදට එතුමාගේ රජ දහන පැතිරේ වා!
					යුප්‍රටීස් නදියේ සිට පොළොවේ කෙළවර දක්වා එසේ ම වේ වා!
				</verse>
				<verse number="9">එතුමන් අබිමුව මරුකතර වැසියෝ වැඳ වැටෙන්නෝ ය; එතුමාගේ සතුරෝ මුණින්තළා වී වැඳ වැටෙන්නෝ ය;</verse>
				<verse number="10">තාර්ෂිෂ්හි සහ ද්වීපවල රජවරු එතුමාට කප්පම් ගෙවන්නෝ ය; ෂෙබා සහ සේබාහි රජවරු පඬුරු පුදන්නෝ ය;</verse>
				<verse number="11">එතුමන් අබිමුව රජවරු වැඳ වැටෙන්නෝ ය; සියලු ජාතීහු එතුමාට මෙහෙ කරන්නෝ ය.</verse>
				<verse number="12">එතුමා සහන පතා මොරගසන අසරණයන් මුදාගත්තේ ය; පිහිට නැති පීඩිතයන් ද නිදහස් කරගත්තේ ය.</verse>
				<verse number="13">එතුමා, දුගී දුප්පතුන්ට හා දුබලුන්ට අනුකම්පා කරන්නේ ය; දිළිඳුන්ගේ ජීවිත මුදාගත්තේ ය.</verse>
				<verse number="14">එතුමා, අයුතු පීඩනයෙන් හා සැහැසිකමෙන් ඔවුන් ගළවන්නේ ය; ඔවුන්ගේ ජීවිත අගය කොට සලකන්නේ ය.</verse>
				<verse number="15">එතුමා චිරාත් කාලයක් ජීවත් වේ වා! ෂෙබාහි රත්රන් එතුමාට පුදනු ලැබේ වා! නිරතුරු එතුමා උදෙසා අයැදුම් කරනු ලැබේ වා! දවස පුරා ආසිරි පතනු ලැබේ වා!</verse>
				<verse number="16">කඳු මත ගොයම් ලෙළ දේ වා! ධාන්‍ය බහුල ව ඉතිරේ වා! ලෙබනොන්හි මෙන් පලදාව සරුසාර වේ වා! කෙතේ තණ මෙන් වැසියන්ගෙන් නගර සපිරේ වා!</verse>
				<verse number="17">එතුමාගේ නාමය සදහට ම පවතී වා! ඉර හඳ පවතින තෙක් එතුමාට කීර්තිය අත් වේ වා! එතුමා අතින් සව් සත ආසිරි ලබත් වා! සියලු ජාතීහු එතුමාට සව්සිරි පතත් වා!</verse>
				<verse number="18">ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් හට, දෙවි සමිඳුන් හට, පැසසුම් වේ වා! අරුමපුදුම දේ කරන්නේ එතුමාණෝ පමණක් ය.</verse>
				<verse number="19">එතුමන්ගේ ශ්‍රී නාමයට සදා පැසසුම් වේ වා! එතුමන්ගේ මහිමය ලොව පුරා පැතිරේ වා! එසේ ම වේ වා! එසේ ම වේ වා!</verse>
				<verse number="20">ජෙස්සේගේ පුත් දාවිත්ගේ යැදුම මෙසේ අවසන් වේ.</verse>
			</chapter>
			<chapter number="73">
				<verse number="1">ආසාප්ගේ ගීතයකි. අහෝ ඉශ්රායෙල්වරුනි! නිර්මල සිත් ඇත්තන් හට දෙවිඳාණෝ කොපමණ යහපත් ද?</verse>
				<verse number="2">මා මොහොතකින් ලිස්සා යන්න තිබිණි. මාගේ පය ලිස්සන්නට විය.</verse>
				<verse number="3">එසේ වූයේ, දුදනන්ගේ අභිවෘද්ධිය මා දැක ඔවුන්ගේ පාරට්ටු නිසා මා ඔවුන්ට ඊර්ෂ්‍යා කළ විට ය.</verse>
				<verse number="4">ඔවුන් හට දුක් ගැහැට නැත්තේ ය. ඔවුන්ගේ කය නිදුක් නිරෝගී ව ඇත්තේ ය.</verse>
				<verse number="5">අන් අයට මෙන් ඔවුන්ට කම්කටොලු කිසිත් නැත්තේ ය. අන් අය මෙන් ඔව්හු තාඩන පීඩන නොලබන්නෝ ය.</verse>
				<verse number="6">එබැවින්, ඔව්හු අහංකාරකම ගෙල පළඳනාවක් මෙන් ද බලහත්කාරය වස්ත්‍රයක් මෙන් ද පැළඳ සිටින්නෝ ය.</verse>
				<verse number="7">ඔවුන්ගේ නෙත් අහංකාරයෙන් ඉදිමී ඇත්තේ ය. ඔවුන්ගේ සිත් නිෂ්ඵල සිතුවිලිවලින් පිරී ඇත්තේ ය.</verse>
				<verse number="8">ඔව්හු අන් අයට සිනාසෙන්නෝ ය; නපුරු දේ ගැන කතා කරන්නෝ ය; අහංකාරයෙන් ඉදිමී අන් අයට පීඩා කිරීමට සිතන්නෝ ය.</verse>
				<verse number="9">ඔව්හු සුරලොව දෙවිඳුන්ට විරුද්ධ ව නපුර කතා කරන්නෝ ය. ඔව්හු නරලොව මිනිසුන්ට අහංකාර ලෙස අණ දෙන්නෝ ය.</verse>
				<verse number="10">එබැවින්, දේව සෙනඟ පවා ඔවුන් වෙත හැරෙන්නෝ ය. ඔවුන් කියන සෑම දෙයක් ම මහා ආශාවෙන් විශ්වාස කරන්නෝ ය.</verse>
				<verse number="11">ඔව්හු කතා කොට, “දෙවිඳාණෝ කෙසේ දන්න සේක් ද? මහෝත්තමයාණන්ට දැනුමක් ඇත්තේ දැ”යි විමසන්නෝ ය.</verse>
				<verse number="12">දුදනන් දෙස බලන්න; ඔවුන්ට විපුල සම්පත් ඇත. ඒවා තවතවත් ඔව්හු වැඩි කරගන්නෝ ය.</verse>
				<verse number="13">මා සිත නිර්මල ව තබාගත්තේත්, පවින් මා දුරු ව සිටියේත් නිකරුණේ ය.</verse>
				<verse number="14">දෙවිඳුනි, ඔබ මට දවස පුරා පීඩා විඳීමට සැලැසූ සේක; ඔබ මට උදයක් උදයක් පාසා දඬුවම් කළ සේක;</verse>
				<verse number="15">“මම මෙසේ කතා කරන්නෙමි”යි ඔවුන් මෙන් කියන්නට මට තිබුණේ ය. එසේ කෙළෙම් නම්, ඔබේ ජනතාවට ද්‍රෝහියෙකු වන්නට මට ඉඩ තිබිණි.</verse>
				<verse number="16">මම මේ ගැටළුව තේරුම්ගන්නට තැත් කෙළෙමි. එහෙත්, මට එය ඉතා දුෂ්කර විය.</verse>
				<verse number="17">ශුද්ධස්ථානයට ඇතුළු වන තෙක් එය මට දුෂ්කර ගැටළුවක් විය. එහි ඇතුළු වූ පසු දුදනන්ගේ අවසන් ඉරණම මම තේරුම්ගතිමි.</verse>
				<verse number="18">ඇත්තට ම ඔබ ඔවුන් විනාශයට පත් කරන සේක. පාතාල ලෝකයට ඔවුන් හෙළාදමන සේක.</verse>
				<verse number="19">ඔව්හු සැණෙකින් වැනසී යන්නෝ ය. තැතිගෙන අන්ත විනාශයට ම වැටී යන්නෝ ය.</verse>
				<verse number="20">ඔව්හු, අවදි වූ විට අමතක වී යන සිහිනයක් බඳු ය. අහෝ සමිඳුනි! ඔබ පිබිදෙන කල ඔව්හු මායා මෙන් මැකී යන්නෝ ය.</verse>
				<verse number="21">මාගේ සිත කලකිරුණේ ය; මට වේදනා දැනෙන්නට විය.</verse>
				<verse number="22">එවිට මම වැටහීමක් නැති මෝඩයෙකු මෙන් වූයෙමි. ඔබ අබිමුව තිරිසනෙකු බවට පත් වුණෙමි.</verse>
				<verse number="23">එහෙත්, නිරතුරු මම ඔබ සමඟ සිටියෙමි. ඔබ මා දකුණතින් අල්ලාගත් සේක.</verse>
				<verse number="24">ඔබේ උවදෙසින් ඔබ මට මඟපෙන්වන සේක. පසු ව ඔබ මට ගරු සම්මාන දී මා පිළිගන්න සේක.</verse>
				<verse number="25">ඔබ හැර සුරලොව මට සිටින්නේ කවරෙක් ද? ඔබ ඇති විට නරලොව කිසිවෙකුට මම ලොල් නොකරමි.</verse>
				<verse number="26">මාගේ ගත සිත කෙමෙන් වැහැරෙයි; එහෙත්, දෙවිඳාණෝ මාගේ ශක්තිය ද උරුමය ද වන සේක.</verse>
				<verse number="27">ඔබ අත්හැර දමන්නෝ සැබැවින් ම වැනසී යන්නෝ ය; ඔබට ද්‍රෝහි වූවන් ඔබ වනසන සේක.</verse>
				<verse number="28">මාගේ පරමානන්දය දෙවිඳුන් හට සමීප ව සිටීම ය. ඔබේ ක්‍රියා සියල්ල ප්‍රකාශ කරන පිණිස මම මහෝත්තම දෙවි ස්වාමීන් සරණ කොටගතිමි.</verse>
			</chapter>
			<chapter number="74">
				<verse number="1">ආසාප්ගේ ගීතයකි. අහෝ දෙවිඳුනි! ඔබ සදහට ම අප අත්හරින්නේ මන් ද? ඔබේ තණ බිම්හි බැටළුවන්ට විරුද්ධ ව ඔබේ උදහස නඟින්නේ මන් ද?</verse>
				<verse number="2">පෙර කල ඔබට ම තෝරාගත්, උරුම වංශය කරගන්න පිණිස වහල්කමින් මුදාගත්, ඔබේ සෙනඟ සිහි කළ මැනව. ඔබේ නිවාසය වූ සියොන් කන්ද සිහි කළ මැනව.</verse>
				<verse number="3">නිමක් නැති මේ නටබුන් ගොඩ මතු පිටින් දෙ පා නැඟුව මැනව. අපේ සතුරා ඔබේ ශුද්ධස්ථානයේ සියල්ල වනසා ඇත්තේ ය.</verse>
				<verse number="4">ඔබේ සෙනඟ මැද එදිරිකාරයෝ බෙරිහන් දුන්නෝ ය. ඔව්හු තම ජය කෙහෙලි එහි නැංවූ හ.</verse>
				<verse number="5">ඔව්හු ඉහළ දොරටුවේ කැටයම් වැඩ පොරෝවලින් කපා සුණු විසුණු කළහ.</verse>
				<verse number="6">එහි පනේල සියල්ල ම ඔව්හු බිඳදැමූ හ. කැත්තෙන් සහ මිටියෙන් ඒවාට පහර දුන්නෝ ය.</verse>
				<verse number="7">ඔව්හු ඔබේ ශුද්ධස්ථානය ගිනිබත් කළෝ ය. ඔව්හු ඔබේ නාමයට කැප වූ වාසභවනය කෙලෙසා බිමට සමතලා කළෝ ය.</verse>
				<verse number="8">“අපි ඔවුන් සියල්ලන් සම්පූර්ණයෙන් විනාශ කරමු”යි ඔවුන් සිතාගෙන මුළු රටෙහි දහම් හල් ගිනිබත් කළහ.</verse>
				<verse number="9">අපට අනාගතයක් නැත; දිවැසිවරයෙක් ද අපට නැත; මේ තත්ත්වය කොපමණ කල් පවතී දැ යි දන්න කෙනෙක් ද නැත.</verse>
				<verse number="10">දෙවිඳුනි, එදිරිකාරයා කොපමණ කලක් ඔබට නින්දා කරන්නේ ද? ඔහු ඔබේ නාමයට සදහට ම ගරහන්නේ ද?</verse>
				<verse number="11">ඔබ අපට අත නො දී ඉන්නේ මන් ද? ඔබ දෑත අකුළාගෙන ඉන්නේ මන් ද?</verse>
				<verse number="12">දෙවිඳුනි, පුරාතනයේ සිට ම ඔබ අපේ රජතුමාණෝ ය; ලෝ පුරා ගැළවීමේ ක්‍රියාවල කතුවරයාණෝ ඔබ වහන්සේ ය.</verse>
				<verse number="13">
					ඔබ සිය සවියෙන් සමුදුර දෙබෑ කළ සේක;
					මුහුදු සපුන්ගේ හිස් ද පොඩිකළ සේක.
				</verse>
				<verse number="14">
					ඔබ ලෙවියාතන් නම් සර්පයාගේ හිස පොඩිකර දැමූ සේක;
					උගේ මස් කාන්තාර සතුන්ට ආහාරයක් කොට දුන් සේක.
				</verse>
				<verse number="15">උල්පත් සහ ජල ධාරා මුදා හැරියේ ඔබ වහන්සේ ය; ගලන ගංගා වියළී යෑමට සැලසුවේත් ඔබ වහන්සේ ය.</verse>
				<verse number="16">දිවා රෑ දෙක ම අයිති ඔබ වහන්සේට ය; ඉර හඳ මැව්වේත් ඔබ වහන්සේ ය.</verse>
				<verse number="17">පොළොවේ සීමාවන් පිහිටුවා වදාළේ ඔබ වහන්සේ ය; ග්‍රීෂ්මය සහ සිසිරය ඇති කෙළේ ඔබ වහන්සේ ය.</verse>
				<verse number="18">සමිඳුනි, ඔබට නිගා කළ සතුරන්ගේ අපහාස සිහිකළ මැනව. ඔබේ නාමය ගැරහු අදමිටුන් සිහිකළ මැනව.</verse>
				<verse number="19">ඔබේ නිදොස් සෙනඟ කුරිරු සතුන්ට බිලිකර නුදුන මැනව; ඔබේ අසරණයන් සදහට ම අමතක නොකළ මැනව.</verse>
				<verse number="20">ඔබ අප සමඟ කළ ගිවිසුම සිහිකළ මැනව. මන්ද, රටේ සෑම අඳුරු මුල්ලක් ම සැහැසිකමින් පිරී ඇත.</verse>
				<verse number="21">පීඩිත වූවන්ට ලජ්ජාවෙන් පසු බැසීමට ඉඩ නුදුන මැනව. දුගීන් හට සහ දිළිඳුන් හට ඔබේ නාමය පැසසීමට ඉඩ සැලසුව මැනව.</verse>
				<verse number="22">දෙවිඳුනි, නැඟිට විසඳුව මැනව. යුක්තිය රැක ගැනීමට සටන් කළ මැනව. නොදැහැමියන් දවස පුරා ඔබට නිගා කරන බව සිහි කළ මැනව.</verse>
				<verse number="23">ඔබේ එදිරිකාරයන්ගේ හඬ ද නොකඩවා නඟින ඔබේ සතුරන්ගේ කොලහල ගොස ද අමතක නොකළ මැනව.</verse>
			</chapter>
			<chapter number="75">
				<verse number="1">ආසාප්ගේ කාව්‍යයකි. ගීතයකි. දෙවිඳුනි, අපි ඔබට තුති කරමු; ඔබේ ප්‍රබල ක්‍රියා ප්‍රකාශ කරමු; ඔබේ නාමයට අයැද තුති කරමු.</verse>
				<verse number="2">දෙවි තුමාණෝ මෙසේ වදාරන සේක: “විනිශ්චය කරන කාලය මා නියමකර ඇත. එවිට මම යුක්තිසහගත ව විනිශ්චය කරන්නෙමි.</verse>
				<verse number="3">පොළොවත්, එහි සියලු වැසියෝත් කම්පා වන්නෝ ය. එසේ වුවත්, පොළොවේ කණු සවිමත් ව තබන්නේ මම ය.”</verse>
				<verse number="4">මම මෙසේ කියමි: “පාරට්ටු කරන්නෙනි, පාරට්ටු නවතාලන්න; දුදනෙනි, අහංකාරකමින් උදම් නොවන්න;</verse>
				<verse number="5">මහෝත්තමයාණන්ට විරුද්ධ ව අහංකාර නොවන්න; මැවුම්කරුන් හට විරුද්ධ ව උඩඟුවෙන් කතා නොකරන්න.</verse>
				<verse number="6">පෙර අපර දෙදිගින් හෝ උතුරු දකුණු දෙදිගින් හෝ විනිශ්චය නොවන්නේ ය, එය නොඑන්නේ ය.</verse>
				<verse number="7">එහෙත්, විනිශ්චය පැමිණෙන්නේ දෙවිඳුන්ගෙන් ය. කෙනෙකු පහතට හෙළන්නේ ද කෙනෙකු ඉහළට ඔසවන්නේ ද උන් වහන්සේ ම ය.</verse>
				<verse number="8">සමිඳුන් අතෙහි කුසලානකි; කෝපයෙන් පැසුණු මිදි රසින් එය පිරී ඇත. එතුමාණෝ එයින් බිඳක් වත්කරන සේක. මිහි පිට දුදනෝ එහි අන්තිම බිඳ දක්වා ම බොන්නෝ ය.</verse>
				<verse number="9">මම සදහට ම ජාකොබ්ගේ දෙවිඳුන් පසසන්නෙමි; එතුමන් හට සදහට ම ගී ගයන්නෙමි.</verse>
				<verse number="10">දුදනන්ගේ ඔද මම බිඳ ලන්නෙමි. එහෙත්, සුදනන්ගේ බලය ඔසවනු ලබන්නේ ය.”</verse>
			</chapter>
			<chapter number="76">
				<verse number="1">ආසාප්ගේ කාව්‍යයකි. ගීතයකි. දෙවිඳාණෝ ජුදාහි ප්‍රකාශ වූ සේක. ඉශ්රායෙල්වරුන් අතර එතුමන්ගේ නාමය ශ්‍රේෂ්ඨ ය.</verse>
				<verse number="2">එතුමන්ගේ මණ්ඩපය ජෙරුසලමෙහි වූයේ ය. එතුමන්ගේ නිවාසය සියොන් කන්දෙහි වූයේ ය.</verse>
				<verse number="3">එහි දී එතුමාණෝ සතුරන්ගේ ඊ සැරය බිඳ දැමූ සේක. ඔවුන්ගේ කඩුවට, පලිහට හා යුද අවියට එලෙස ම කළ සේක.</verse>
				<verse number="4">අහෝ දෙවිඳුනි! ඔබ කොපමණ මහිමාන්විත ද? සදා පවතින කඳු වැටියට වඩා කොපමණ තේජාන්විත ද?</verse>
				<verse number="5">ඔවුන්ගේ එඩිතර සෙබළුන් සතු දේ කොල්ලකනු ලැබී ය. දැන් ඒ වීරයෝ අවසාන නින්දට වැටී ඇත්තෝ ය. ඔවුන්ගේ බල විකුම් නිෂ්ඵල වී ඇත්තේ ය.</verse>
				<verse number="6">ජාකොබ්ගේ පරපුරේ දෙවිඳුනි, ඔවුන්ට ඔබ තර්ජනය කළ සේක. අශ්වයෝ හා අසරුවෝ මැරී වැටුණෝ ය.</verse>
				<verse number="7">සමිඳුනි, සියලු දෙන ඔබට ගරුබිය පෑ යුතු ය. ඔබේ දැවෙන උදහසට මූණ දීමට කවරෙක් සමත් වන්නේ ද?</verse>
				<verse number="8">ඔබ සුරපුර සිට තීන්දුව දීමට සැලැසූ සේක. ලොව තැති ගෙන නිහඬ වූයේ ය.</verse>
				<verse number="9">දෙවිඳුනි, ඔබ වහන්සේ විනිශ්චය සඳහා නැඟිටින සේක; මිහි පිට පීඩිත වූවන් ගළවනු පිණිස වඩින සේක.</verse>
				<verse number="10">මිනිසාගේ උදහසින් පවා ඔබේ මහිමය වැඩි වන්නේ ය. ඒ උදහසින් මිදෙන අය ඔබේ මංගල්‍යය පවත්වන්නෝ ය.</verse>
				<verse number="11">ඔබේ දෙවි සමිඳුන් හට බාරහාර වී ඒවා ඉටු කරන්න. එතුමන් වටා සිටින්නෝ ගරුබිය පෑ යුතු තැනැන් වහන්සේට පඬුරු ගෙනෙත් වා!</verse>
				<verse number="12">එතුමාණෝ රජ දරුවන් මඬින සේක. ශ්‍රේෂ්ඨ භූපතීන් තුළ බිය ඇති කරවන සේක.</verse>
			</chapter>
			<chapter number="77">
				<verse number="1">ආසාප්ගේ ගීතයකි. මම දෙවිඳුන් හට මොරගසමි; එසේ ය, උස් හඬින් දෙවිඳුන් හට මොරගසමි. එතුමාණෝ මට සවන් දෙන සේක.</verse>
				<verse number="2">විපත්ති කාලයේ දී මම මාගේ සමිඳුන්ට යදිමි. මුළු රැය ම එතුමන් වෙත දෑත ඔසවා යැදුම් යදිමි. එහෙත්, මට සැනසුම සොයාගත නොහැකි ය.</verse>
				<verse number="3">දෙවිඳුන් ගැන සිතමින් මම සුසුම් හෙළන්නෙමි; මා භාවනා කරන විට මම අධෛර්ය වන්නෙමි.</verse>
				<verse number="4">එතුමාණෝ මුළු රැය ම මා අවදිව තබන සේක. කතා කරන්නට බැරි තරමට මම කැළඹී සිටින්නෙමි.</verse>
				<verse number="5">යටගිය දවස් ගැන මම කල්පනා කරන්නෙමි; ගෙවී ගිය අවුරුදු සිහිපත් කරන්නෙමි.</verse>
				<verse number="6">මුළු රෑ පුරා මම භාවනා කරන්නෙමි. මම මෙනෙහි කරමින් මාගෙන් ම මෙලෙස අසන්නෙමි.</verse>
				<verse number="7">“සමිඳාණෝ සදහට ම අප අත් හරින සේක් ද? එතුමාණෝ යළි අපට කරුණාව නොපෙන්වන සේක් ද?</verse>
				<verse number="8">එතුමන්ගේ තිර පෙම සහමුලින් ම පහ ව ගොස් තිබේ ද? එතුමන් දුන් පොරොන්දුව සදහට ම ඉටු නොකරන සේක් ද?</verse>
				<verse number="9">දෙවිඳාණෝ කරුණාව පෑමට අමතක කර ඇද් ද? නැතහොත් උදහස නිසා දයාව අත්හළ සේක් ද?”</verse>
				<verse number="10">එවිට මම කතා කොට, “මට ඉතා වේදනා දෙන්නේ මෙය වේ; මන්ද, මහෝත්තමයාණන්ගේ බලය ඉවත් ව ගොස් තිබේ යැ”යි කීවෙමි.</verse>
				<verse number="11">සමිඳුනි, ඔබේ තේජාන්විත ක්‍රියා මම සිහි කරන්නෙමි. ඔබ පෙර කළ අරුමපුදුම දේ මම කියා පාන්නෙමි.</verse>
				<verse number="12">ඔබේ ක්‍රියා සියල්ල මම සිහි කරන්නෙමි, ඔබේ ප්‍රබල ක්‍රියා ගැන මම භාවනා කරන්නෙමි.</verse>
				<verse number="13">අහෝ දෙවිඳුනි! ඔබේ ක්‍රියා මාර්ගය විශුද්ධ ය; අපේ දෙවිඳුන්ට වඩා ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් ඇද් ද?</verse>
				<verse number="14">හාස්කම් පාන දෙවිඳාණෝ ඔබ වහන්සේ ය. ජාතීන් අතර ඔබේ බල මහිමය ඔබ පෙන්වා ඇත්තේ ය.</verse>
				<verse number="15">ඔබේ බලවත් හස්තයෙන් ඔබ තුමන් සෙනඟ මුදා ලූ සේක. ජාකොබ්ගේ සහ ජෝසෙප්ගේ පෙළපත් ඔබ ගළවා ලූ සේක.</verse>
				<verse number="16">අහෝ දෙවිඳුනි! ජලධාරාවෝ ඔබ දුටු විට භය වූ හ. සාගර පත්ල පවා බියෙන් ඇලළී ගියේ ය.</verse>
				<verse number="17">වලාකුළුවලින් වැසි වැස්සේ ය; අහස ගිගුරුම් හඬ දුන්නේ ය; විදුලි සැර දසත විහිදී ගියේ ය.</verse>
				<verse number="18">ඔබේ හෙණ හඬ අහස් කුසේ ගිගුම් දිනි. විදුලි කෙටීම් ලොව එළි කෙළේ ය. පොළොව කම්පා වී දෙදරා ගියේ ය.</verse>
				<verse number="19">මුහුද මැදින් ඔබේ මාවත විය. ගැඹුරු සමුදුර මැදින් ඔබ ගමන් කළ සේක. එහෙත්, ඔබේ පා සටහන් පෙනෙන්නට නො වී ය.</verse>
				<verse number="20">මෝසෙස්ගේ සහ ආරොන්ගේ මඟපෙන්වීම ඇති ව, ඔබ ඔබේ ජනතාව බැටළුවන් මෙන් ගෙන ගිය සේක.</verse>
			</chapter>
			<chapter number="78">
				<verse number="1">ආසාප්ගේ ගීතයකි. මාගේ ජනයෙනි, මාගේ ඉගැන්වීමට කන් දුන මැනව. මා පවසන වදන්වලට සවන් දුන මැනව.</verse>
				<verse number="2">
					උපමාවක් මඟින් මම කතා කරන්නෙමි.
					පුරාතනයේ අබිරහස් පවසන්නෙමි.
				</verse>
				<verse number="3">අප අසා දැනගත් දේවල් ද අපේ පියවරුන් අපට දැන්වූ දේවල් ද අපි දන්වන්නෙමු.</verse>
				<verse number="4">දරු මුණුබුරන් කෙරෙන් නොසඟවා ඊළඟ පරපුරට දන්වන්නෙමු. සමිඳුන්ගේ ප්‍රබල ක්‍රියා හා බල මහිමය ද එතුමන් කළ හාස්කම් ද කියාපාන්නෙමු.</verse>
				<verse number="5">එතුමාණෝ, ඉශ්රායෙල් ජනතාවට නීති නියෝග ද ජාකොබ්ගේ පරපුරට අණපණත් ද දුන් සේක. ඔවුන්ගේ දරුවන්ට ඒවා ඉගැන්වීමට ඔවුන්ගේ පියවරුන්ට අණ දුන් සේක.</verse>
				<verse number="6">මෙලෙස ඊළඟ පරපුර ඒවා දැනගන්නෝ ය; ඉපදෙන්නට සිටින දරු පරපුර ඒවා දැනගන්නෝ ය. ඔව්හු නැඟිට ඔවුන්ගේ පරපුරට ඒවා දන්වන්නෝ ය.</verse>
				<verse number="7">මෙසේ ඔව්හු දෙවිඳුන් තුළ බලාපොරොත්තුව තබා, එතුමන්ගේ ක්‍රියා කවදා වත් අමතක නොකරන්නෝ ය. එතුමන්ගේ අණපණත් සදහට ම පිළිපදින්නෝ ය.</verse>
				<verse number="8">මෙසේ ඔව්හු ඔවුන්ගේ පියවරුන් මෙන් හිතුවක්කාර, කැරලිකාර පරපුරක් නොවන්නෝ ය. මන්ද, ඒ පරපුරේ අය දෙවිඳුන් කෙරෙහි ස්ථිර ව නොසිටියහ. ඔව්හු දෙවිඳුන්ට පක්ෂපාත ව නොසිටියෝ ය.</verse>
				<verse number="9">එප්‍රායිම්ගේ පරපුර දුනුවායෝ වූ හ. ඔව්හු සටන් දිනේ දී පසුපස හැරී පලා ගියෝ ය.</verse>
				<verse number="10">ඔව්හු දෙවිඳුන් සමඟ වූ ගිවිසුම ඉටු නොකළෝ ය. එතුමන්ගේ නීතිය අනුව හැසිරීමට එකඟ නොවූවෝ ය.</verse>
				<verse number="11">එතුමන්ගේ ක්‍රියා ඔව්හු අමතක කළෝ ය. ඔවුන්ට දැක්වූ අරුමපුදුම දේ සිහි නොකළෝ ය.</verse>
				<verse number="12">
					ඔවුන්ගේ පියවරුන් අබියස එතුමාණෝ හාස්කම් පෑ සේක.
					මිසර දේශයෙහි ද ශොවන් මිටියාවතෙහි ද එලෙස කළ සේක.
				</verse>
				<verse number="13">
					මුහුද දෙබෑ කොට එය මැදින් එතුමාණෝ ඔවුන් ගෙන ගිය සේක.
					ජලකඳ වේල්ලක් මෙන් සිටීමට සැලැසූ සේක.
				</verse>
				<verse number="14">
					දිවා කාලයේ වලාකුළක් මඟින් එතුමාණෝ ඔවුන් ගෙන ගිය සේක.
					රෑ කාලයේ ආලෝකයක් මඟින් ඔවුන්ට මඟපෙන්වූ සේක.
				</verse>
				<verse number="15">
					පාළුකරයේ දී එතුමාණෝ පර්වතය දෙදරවා හැරිය සේක;
					ගැඹුරු ජලාශයකින් මෙන් ඔවුන්ට බොන්නට ජලය දුන් සේක.
				</verse>
				<verse number="16">පර්වතයෙන් දිය දහර ගලා එන්න සැලැසූ සේක. ජලය ගංගා මෙන් ගලා යන්න සැලැසූ සේක.</verse>
				<verse number="17">එහෙත්, ඔව්හු පෙරටත් වඩා එතුමන්ට විරුද්ධ ව නිතර පව් කළෝ ය. වියළි පාළුකරයේ දී මහෝත්තමයාණන්ට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය.</verse>
				<verse number="18">
					ඕනෑකමින් ම ඔව්හු දෙවිඳුන්ට අභියෝග කළෝ ය;
					තමන් රිසි ආහාර ඉල්ලා ඔව්හු එසේ කළෝ ය.
				</verse>
				<verse number="19">දෙවිඳුන්ට විරුද්ධ ව ඔව්හු කතා කරමින්, “පාළුකරයේ දී ආහාර සැපයීමට එතුමන්ට හැකි දැ”යි ඇසුවෝ ය.</verse>
				<verse number="20">තවද, “ගංගාවක් මෙන් වේගයෙන් වතුර ගලා බසින පිණිස එතුමන් පර්වතයට පහර දුන් නමුත්, ජනතාවට රොටි දිය හැකි ද? ඔවුන්ට මාංස දිය හැකි ද?” කියා ඔව්හු ඇසුවෝ ය.</verse>
				<verse number="21">සමිඳාණෝ මේවා ඇසූ කල උදහසින් පිරී ගිය සේක. ජාකොබ් පරපුරට විරුද්ධ ව එතුමන්ගේ කෝපාග්නිය ඇවිළී, ඉශ්රායෙල් වංශයට විරුද්ධ ව උදහස නැංගේ ය.</verse>
				<verse number="22">එසේ වූයේ, ඔවුන් දෙවිඳුන් විශ්වාස නොකළ බැවිනි; එතුමන්ගේ විමුක්තිදායක බලය කෙරෙහි ඔවුන් විශ්වාසය නොතැබූ බැවිනි.</verse>
				<verse number="23">එහෙත්, එතුමාණෝ ඉහළ අහසට කතා කළ සේක; සුරලොව දොරටු විවෘත කළ සේක.</verse>
				<verse number="24">
					ඔවුන්ට කෑමට මන්නා වැසි වැස්වූ සේක.
					සගලොවින් ධාන්‍ය ප්‍රදානය කළ සේක.
				</verse>
				<verse number="25">දෙව් දූතුන්ගේ ආහාර පොදු ජනතාව අනුභව කළහ. එතුමාණෝ පමණටත් වඩා ආහාර පාන එවූ සේක.</verse>
				<verse number="26">අහසෙහි පෙරදිග සුළඟක් හමන්නට සැලැසූ සේක; සිය බලයෙන් දකුණු දිග සුළඟ කළඹා හැරිය සේක.</verse>
				<verse number="27">ඔවුන් පිට දූවිලි මෙන් මස් මාංස වස්වා වදාළ සේක; පියාඹන පක්ෂීන් මුහුදු වැලි මෙන් එවූ සේක.</verse>
				<verse number="28">ඔවුන්ගේ කඳවුරු මැදට ඒවා හෙළූ සේක; ඔවුන් වසන තැන් සිසාරා ඒවා වැටෙන්නට සැලැසූ සේක.</verse>
				<verse number="29">මෙසේ ඔව්හු කා බී සෑහීමට පත් වූවෝ ය. ඔවුන් ආශා කළ දේ එතුමාණෝ ප්‍රදානය කළ සේක.</verse>
				<verse number="30">එහෙත්, ඔවුන්ගේ ආශාව සංසිඳෙන්නත් ප්‍රථම, ඔවුන්ගේ කටේ ආහාර තිබිය දී පවා මැසිවිලි දෙඩීම ඔව්හු නොනැවැත්වූවෝ ය.</verse>
				<verse number="31">දේව උදහස ඔවුන්ට විරුද්ධ ව ඇවුළුණේ ය. එතුමාණෝ ඔවුන’තර සිටි සවිමත් දනන් නසා ඉශ්රායෙල් වංශයේ හොඳ ම තරුණ පෙළ වනසාදැමූ සේක.</verse>
				<verse number="32">මේ සියල්ල තිබිය දී ම ඔවුහු දිගින් දිගට ම පව් කළෝ ය; එතුමාණන්ගේ විස්මිත ක්‍රියා විශ්වාස නොකළෝ ය.</verse>
				<verse number="33">එබැවින් එතුමාණෝ ඔවුන්ගේ ජීවිත කාලය හුමාලයක් මෙන් නැතිවන්න සැලැසූ සේක. ඔවුන්ගේ ආයු කාලය බියෙන් ගෙවී යන්න සැලැසූ සේක.</verse>
				<verse number="34">එතුමාණන් ඔවුන්ගෙන් සමහරුන් වැනසූ කල, සෙසු අය එතුමාණන් සෙවුවෝ ය. ඔව්හු පසුතැවී සිත් හරවා ගෙන දෙවිඳාණන් සොයා ගියෝ ය.</verse>
				<verse number="35">ඔවුන්ගේ පර්වතය දෙවිඳාණන් බව ඔව්හු සිහිපත් කළෝ ය. ඔවුන්ගේ මිදුම්කරුන් උත්තම දෙවිඳාණන් බව ඔව්හු සිහි කළෝ ය.</verse>
				<verse number="36">එහෙත්, ඔව්හු එතුමන්ට තම මුවින් චාටු බස් කීවෝ ය; දිවෙන් මුසා බස් දෙඩුවෝ ය.</verse>
				<verse number="37">
					ඔවුන්ගේ සිත් එතුමන් කෙරෙහි නිතර ම එකඟ නො වී ය.
					එතුමන්ගේ ගිවිසුමට විශ්වාසවන්ත ව නොසිටියෝ ය.
				</verse>
				<verse number="38">එහෙත්, දයානුකම්පාවෙන් එතුමාණෝ ඔවුන්ගේ පාප කමා කළ සේක; ඔවුන් නොවැනසූ සේක; විටින් විට තම කෝපය සංසිඳුවාගෙන තම උදහස ඇවිලෙන්නට ඉඩ නුදුන් සේක.</verse>
				<verse number="39">ඔවුන් හුදෙක් මියයන සුලු මිනිසුන් බව එතුමාණෝ සිහිපත් කළ සේක; ඔවුන් ආපසු නොඑන හමා යන හුස්මක් බව සිහි කළ සේක.</verse>
				<verse number="40">පාළුකරයේ දී කොපමණ වාරයක් ඔව්හු එතුමන්ට විරුද්ධ වූවෝ ද? කාන්තාරයේ දී කොපමණ වාරයක් ඔව්හු එතුමන්ට දුක් දුන්නෝ ද?</verse>
				<verse number="41">ඔව්හු නැවත නැවතත් දෙවිඳුන් පිරික්සූ හ. ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ දෙවිඳුන් කුපිත කළෝ ය.</verse>
				<verse number="42">එතුමන්ගේ බල මහිමය වත්, සතුරන්ගෙන් ගළවාගත් දිනය වත් ඔව්හු සිහි නොකළෝ ය.</verse>
				<verse number="43">එතුමාණන් මිසරයේ දී කළ හාස්කම් වත්, ශෝවන් මිටියාවතේ දී කළ අසිරිමත් ක්‍රියාවන්වත් ඔව්හු සිහි නොකළෝ ය.</verse>
				<verse number="44">
					එතුමාණෝ ඔවුන්ගේ ගංගා ජලය ලේ බවට හැරෙවු සේක;
					පානය කිරීමට නොහැකි වන ලෙස දියකඳ ලේ බවට හැරෙවු සේක.
				</verse>
				<verse number="45">
					ඔවුන්ට හිරිහැර කිරීමට එතුමාණෝ මැසි කැල එවූ සේක;
					ඔවුන්ගේ රට වනසාලීමට මැඩියන් එවූ සේක.
				</verse>
				<verse number="46">
					එතුමාණෝ ඔවුන්ගේ අස්වැන්න දළඹුවන්ට දුන් සේක;
					ඔවුන්ගේ ශ්‍රමයේ පලදාව පළඟැටියන්ට දුන් සේක.
				</verse>
				<verse number="47">
					එතුමාණෝ ගල් වර්ෂාවෙන් ඔවුන්ගේ මිදි වැල් නසා ලූ සේක;
					තුෂාරයෙන් ඔවුන්ගේ අත්තික්කා ගස් විනාශ කළ සේක.
				</verse>
				<verse number="48">ඔවුන්ගේ ගවමහිෂයන් ගල් වැස්සෙන් යට කළ සේක; එළු බැටළු පට්ටි හෙණ අකුණුවලට පාවා දුන් සේක;</verse>
				<verse number="49">ඔවුන්ට විරුද්ධ ව තමන්ගේ දැවෙන කෝපයත්, රෝෂයත්, විනාශයත් එවූ සේක; මේවා මාර දූත පිරිසක් මෙන් එවූ සේක.</verse>
				<verse number="50">එතුමාණෝ තම කෝපයට ඉඩ දී ඔවුන් මරණයෙන් බේරා නොගත් සේක; වසංගතයෙන් ඔවුන් වනසා ලූ සේක.</verse>
				<verse number="51">
					මිසරයේ සියලු කුලුඳුලන් මරාදැමූ සේක.
					හාම්ගේ කූඩාරම්හි සිටි ඔවුන්ගේ කුලුඳුලන් විනාශ කළ සේක.
				</verse>
				<verse number="52">
					ඉන්පසු එතුමාණෝ තමන් සෙනඟ බැටළුවන් මෙන් ගෙන ගිය සේක.
					පාළුකරය මැදින් යන බැටළු රැළකට මෙන් ඔවුන්ට මඟපෙන්වූ සේක.
				</verse>
				<verse number="53">
					නොබිය ව, සුරැකි ව යාමට එතුමාණෝ ඔවුන්ට මඟපෙන්වූ සේක.
					එහෙත්, මුහුද ඔවුන්ගේ සතුරන් බිලිගත්තේ ය.
				</verse>
				<verse number="54">
					එතුමාණෝ තම ශුද්ධ දේශයට ඔවුන් ගෙනා සේක;
					තම බලයෙන් දිනාගත් කන්දට ඔවුන් ගෙනා සේක.
				</verse>
				<verse number="55">
					එහි පෙර විසූ මිසදිටු ජාතීන් පන්නාදමා ඔවුන්ට ඒ රට උරුම කොට බෙදා දුන් සේක;
					ඔවුන්ගේ කූඩාරම්වල ඉශ්රායෙල් ගෝත්‍රයන් පදිංචි කරවූ සේක.
				</verse>
				<verse number="56">
					එහෙත්, ඔව්හු දෙවිඳුන් පිරික්සමින් එතුමන්ට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය.
					මහෝත්තමයාණන්ගේ අණපණත් නොතකා හැරියෝ ය.
				</verse>
				<verse number="57">ඔව්හු ඔවුන්ගේ පියවරුන් මෙන් ආපසු හැරී යමින් විශ්වාසය කඩ කළෝ ය. ඇද වුණු දුන්නක් මෙන් ඔවුන්ගේ විශ්වාසය වක් විය.</verse>
				<verse number="58">මිසදිටු ගිරිකුළු දේවාලවලින් ඔව්හු එතුමාණන් කුපිත කළෝ ය. ඔවුන්ගේ පිළිම රූපවලින් එතුමාණන්ගේ කෝපය ඇවිස්සුවෝ ය.</verse>
				<verse number="59">දෙවිඳුන්ට මෙය ඇසුණු විට එතුමාණෝ බලවත් ලෙස උදහස් වූ සේක; එතුමාණෝ ඉශ්රායෙල්වරුන් ප්‍රතික්ෂේප කළ සේක.</verse>
				<verse number="60">
					එතුමාණෝ ෂිලෝහි වාසභවනය අත්හළ සේක;
					මිනිසුන් අතර පිහිටෙවු කූඩාරම හැර ගිය සේක.
				</verse>
				<verse number="61">
					එතුමාණන්ගේ බල මහිමය සහ තේජාලංකාර සලකුණ වන ගිවිසුම් කරඬුව සතුරන් අතට පත් වීමට එතුමාණෝ ඉඩ හැරිය සේක.
				</verse>
				<verse number="62">එතුමාණෝ සිය සෙනඟ කඩු පහරට භාර දුන් සේක. සිය උරුමය වන සෙනඟ කෙරෙහි උදහස් වූ සේක.</verse>
				<verse number="63">ගින්න ඔවුන්ගේ තරුණයන් ගිලගත්තේ ය; ඔවුන්ගේ තරුණියන්ට විවාහ ගීතයක් නො වී ය.</verse>
				<verse number="64">ඔවුන්ගේ පූජකවරු කඩුවෙන් නැසුණෝ ය. ඔවුන්ගේ වැන්දඹුවෝ ශෝක ගීත ගායනා නොකළෝ ය.</verse>
				<verse number="65">සමිඳාණෝ නින්දෙන් අවදි වන කෙනෙකුන් මෙන් පිබිදුණ සේක; මිදිපැන් මතින් කෑමෝරගසන වීර භටයෙකු මෙන් වූ සේක.</verse>
				<verse number="66">එතුමාණෝ සිය සතුරන්ට පහර දී ඔවුන් පලවා හැරිය සේක; සදා ලජ්ජාවට ඔවුන් පත් කළ සේක.</verse>
				<verse number="67">එතුමාණෝ ජෝසෙප්ගේ පරපුර අත්හළ සේක; එප්‍රායිම්ගේ වංශය තෝරා නොගත් සේක.</verse>
				<verse number="68">එහෙත්, එතුමාණෝ ජුදාගේ ගෝත්‍රය තෝරාගත් සේක; සියොන් කන්දට ප්‍රේම කළ සේක.</verse>
				<verse number="69">එතුමාණෝ සදහට ම පිහිටෙවු පොළොව මෙන් ස්ථිර ව ද අහස් තලය මෙන් උසස් ව ද සිය ශුද්ධස්ථානය ඉදි කළ සේක.</verse>
				<verse number="70">
					එතුමාණෝ තම සේවක දාවිත් තෝරා ගත් සේක;
					බැටළු රැළ රැකබලාගැනීමෙන් ඔහු ඉවතට ගත් සේක.
				</verse>
				<verse number="71">සිය උරුමය ද ජාකොබ්ගේ පරපුර ද වන ඉශ්රායෙල්වරුන් පාලනය කිරීම සඳහා එතුමාණෝ බැටළුවන් රැකබලාගැනීමෙන් දාවිත් කැඳවාගත් සේක.</verse>
				<verse number="72">දාවිත් අවංක සිත් ඇති ව සෙනඟ රැකබලාගත්තේ ය. මහ දස්කම් දක්වා ඔහු ඔවුන්ට මඟපෙන්වූ සේක.</verse>
			</chapter>
			<chapter number="79">
				<verse number="1">ආසාප්ගේ ගීතයකි. අහෝ දෙවිඳුනි, මිසදිටුවෝ ඔබේ උරුමය ආක්‍රමණය කළෝ ය. ඔබේ ශුද්ධ මාලිගාව කෙලෙසුවෝ ය. ජෙරුසලම් නගරය නටබුන් ගොඩක් කළෝ ය.</verse>
				<verse number="2">ඔබේ සේවකයන්ගේ මළකඳන් ඔව්හු ආකාශ පක්ෂීන්ට කෑමට දුන්නෝ ය. ඔබේ දැහැමියන්ගේ මාංසය මිහි පිට තිරිසනුන්ට කෑමට දුන්නෝ ය.</verse>
				<verse number="3">ඔව්හු ඔවුන්ගේ ලේ ජෙරුසලම වටා ජලය මෙන් වැගිරෙවුවෝ ය. ඔවුන් වැළලීමට කිසිවෙක් නොසිටියෝ ය.</verse>
				<verse number="4">අපේ අසල්වැසියන් හට අපි සරදමක් වූයෙමු; අප අවට සිටින්නන් හට විහිළුවක් ද නින්දාවක් ද වූයෙමු.</verse>
				<verse number="5">අහෝ සමිඳුනි! ඔබ කොපමණ කල් කෝප වී සිටින සේක් ද? සදහට ම ද? ඔබේ උදහස කොපමණ කල් ගින්න මෙන් දැවෙන්නේ ද?</verse>
				<verse number="6">ඔබ නාඳුනන ජාතීන් පිට ඔබේ උදහස වැගිරෙවුව මැනව. ඔබේ නාමය කියා නොඅයදින රාජධානි පිට ද එසේ ම කළ මැනව.</verse>
				<verse number="7">මන්ද, ඔව්හු ජාකොබ්ගේ පරපුර බිඳදැම්මෝ ය; ඔවුන්ගේ ගම්බිම් පාළු කොට දැම්මෝ ය.</verse>
				<verse number="8">අපේ පියවරුන්ගේ දුෂ්ට ක්‍රියා අපට විරුද්ධ ව සිහි නොකළ මැනව. ඔබේ මෘදු දයාව අප කෙරෙහි විගස පැමිණෙවුව මැනව. අපේ බලාපොරොත්තු සියල්ල සුන් වී ඇත.</verse>
				<verse number="9">අපේ මිදුම්කාර දෙවිඳුනි, ඔබේ මහිමාන්විත නාමය නිසා අපට සරණ වුණ මැනව; ඔබේ නාමය උදෙසා අප මුදා අපට කමා කළ මැනව.</verse>
				<verse number="10">“ඔවුන්ගේ දෙවිඳාණෝ කොහේ දැ”යි මිසදිටු ජාතීන් අසන්නේ කුමට ද? ඔබේ සේවකයන්ගේ ලෙයට පළිගන්න බව මිසදිටු ජාතීන් අතර අපේ ඇස් ඉදිරියෙහි ම ප්‍රකාශ වේ වා!</verse>
				<verse number="11">ඔබේ සිරකරුවන්ගේ කන්කෙඳිරිය ඔබ ඉදිරියට පැමිණේ වා! මරණයට නියම වූ අය ඔබේ මහිමයෙන් ආරක්ෂා වෙත් වා!</verse>
				<verse number="12">අහෝ සමිඳුනි, අපේ අසල්වාසීන් ඔබට සමච්චල් කර ඇත. එය හත් ගුණයකින් ඔවුන් වෙත ම හැරෙවුව මැනව.</verse>
				<verse number="13">එවිට ඔබේ තණ බිමේ බැටළුවෝ ද ඔබේ සෙනඟ ද වන අපි සදහට ම ඔබට ස්තුති කරන්නෙමු. පරපුරෙන් පරපුරට අපි ඔබට පැසසුම් කරන්නෙමු.</verse>
			</chapter>
			<chapter number="80">
				<verse number="1">ප්‍රසිද්ධ ආඥාවකි. ආසාප්ගේ ගීතයකි. ජෝසෙප්ගේ පරපුර බැටළු රැළක් මෙන් ගෙන යන ඉශ්රායෙල්වරුන්ගේ එඬේරාණෙනි, අපට සවන් දුන මැනව.</verse>
				<verse number="2">කෙරුබ්වරුන් මත අසුන් අරා දර්ශනය වුව මැනව. එප්‍රායිම්, බෙන්ජමින් සහ මනස්සේ යන අයගේ පෙළපත් අබිමුව තෙදින් වැජඹෙනු මැනව. අප මුදාගැනීමට වැඩිය මැනව.</verse>
				<verse number="3">අහෝ දෙවිඳුනි! අප ආපසු ගෙන ගිය මැනව. අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව.</verse>
				<verse number="4">අහෝ සමිඳුනි! සව් බලැති දෙවිඳුනි, ඔබේ සෙනඟගේ අයැදීම ගැන කොපමණ කල් ඔබ උදහස් ව සිටින සේක් ද?</verse>
				<verse number="5">දුක් නමැති ආහාර ඔබ අපට කන්න දුන් සේක; අපට කඳුළින් පිරුණු බඳුනක් බොන්න දුන් සේක.</verse>
				<verse number="6">අපේ අසල්වැසියන්ගේ පරිහාසයට ඔබ අප ලක් කළ සේක. අපේ සතුරෝ අපට උසුළු-විසුළු පෑවෝ ය.</verse>
				<verse number="7">සව් බලැති දෙවිඳුනි, අප ආපසු ගෙන ගිය මැනව. අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව.</verse>
				<verse number="8">ඔබ මිදි වැලක් වන අප මිසරයෙන් ගෙනා සේක; විජාතීන් පන්නාදමා ඔබ එය රෝපණය කළ සේක.</verse>
				<verse number="9">එය වැඩෙන පිණිස ඔබ තැනක් සූදානම් කළ සේක; එය ගැඹුරට මුල් ඇද්දේ ය. එය දේශය පුරා පැතිර ගියේ ය.</verse>
				<verse number="10">එහි සෙවණින් කඳුකර පෙදෙස ද එහි අතු රිකිලිවලින් මහ සීඩර් ගස් ද පවා වැසී ගියේ ය.</verse>
				<verse number="11">එහි අතු මුහුද දක්වා ද එහි රිකිලි යුප්‍රටීස් දක්වා ද විහිදී ගියේ ය.</verse>
				<verse number="12">මඟ යන එන සියල්ලන් එහි පල නෙළනු පිණිස එහි වැට කඩුලු වනසාලූයේ කුමක් නිසා ද?</verse>
				<verse number="13">වල් ඌරෝ එය පාගා දැම්මෝ ය; නිදැල්ලේ සැරිසරන වල් සත්තු එය කා දැම්මෝ ය.</verse>
				<verse number="14">අහෝ සව් බලැති දෙවිඳුනි! අප වෙත හැරුණ මැනව. සගලොව සිට නෙත් යොමා බලා මේ මිදිවැල වන අප රැකගත මැනව.</verse>
				<verse number="15">ඔබේ දකුණතින් රෝපණය කළ දේ සැලකුව මැනව; ඔබට ම සවිමත් කරගත් දේ බැලුව මැනව.</verse>
				<verse number="16">අපේ සතුරෝ එය කපා ගින්නෙන් පුළුස්සා දැමුවෝ ය. ඔබේ බැල්මේ තර්ජනයෙන් ඔව්හු වැනසී යති.</verse>
				<verse number="17">ඔබේ හස්තය ඔබේ දකුණු පස සිටින මිනිසා කෙරෙහි පතිත වේ වා! ඔබේ යහපතට ඔබ ම සවි ශක්තිමත් කළ ජාතිය කෙරෙහි එය පහළ වේ වා!</verse>
				<verse number="18">එවිට අපි කවදාවත් ඔබට පිටුපා නොයන්නෙමු. අපට ජීවත් වීමට ඉඩ දුන මැනව. අපි ඔබේ නාමයෙන් අයැද ඔබ පසසන්නෙමු.</verse>
				<verse number="19">අහෝ සමිඳුනි! සව් බලැති දෙවිඳුනි! අප ආපසු ගෙන ගිය මැනව. අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව.</verse>
			</chapter>
			<chapter number="81">
				<verse number="1">ආසාප්ගේ ගීතයකි. අපේ ශක්තිය වන දෙවිඳුන්ට ඉමහත් ප්‍රීති හඬ නඟන්න; ජාකොබ්ගේ දෙවිඳුන්ට තුති ගී හඬ නඟන්න.</verse>
				<verse number="2">ගී ගයා කිකිණි රබන් ගසන්න; මිහිරි වීණාව සහ කුඩා වීණාව වයන්න.</verse>
				<verse number="3">
					අමාවක දවසේ දී ද පසළොස්වක දවසේ දී ද අපේ මහා මංගල දවසේ දී ද හොරණෑව පිඹින්න.
				</verse>
				<verse number="4">එය ඉශ්රායෙල් ජනයාට නීතියක් වන්නේ ය; ජාකොබ්ගේ දෙවිඳුන් පැනවූ නියෝගයක් වන්නේ ය.</verse>
				<verse number="5">ජෝසෙප් මිසර දේශයෙන් පිටත් ව යන ගමනේ දී එතුමාණෝ එය ඔහුට නියෝගයක් ලෙස භාර දුන් සේක. නුපුරුදු හඬක් මෙසේ කියනු මම ඇසුවෙමි:</verse>
				<verse number="6">“මම ඔබේ කරෙන් බර ඉවත් කෙළෙමි; ඔබේ අත් දෙක කූඩා ඇදීමෙන් නිදහස් කෙළෙමි.</verse>
				<verse number="7">
					විපතේ දී ඔබ අඬගැසුවහු ය;
					මම ඔබ නිදහස් කෙළෙමි. මම අහස් ගිගුරුමේ සිට ඔබට පිළිතුරු දුන්නෙමි. මෙරිබා දිය උල්පත ළඟ දී මම ඔබ සෝදිසි කෙළෙමි.
				</verse>
				<verse number="8">අහෝ මාගේ සෙනඟෙනි! මා ඔබට විරුද්ධ ව අනතුරු අඟවන විට මට සවන් දෙන්න; අහෝ ඉශ්රායෙල්වරුනි! ඔබ මට සවන් දෙන්නහු නම්, කොපමණ යහපත් ද?</verse>
				<verse number="9">
					ඔබ අතර බොරු දෙවි දේවතාවන් නොසිටිය යුතු ය;
					විදේශීය දෙවි දේවතාවන් හට නමස්කාර නොකළ යුතු ය.
				</verse>
				<verse number="10">මිසරයෙන් ඔබ මුදා, ඔබ පිටතට ගෙනා දෙවි සමිඳාණෝ මම වන්නෙමි. ඔබේ මුව හොඳින් විවර කරන්න; එවිට මම ඔබ පෝෂණය කරන්නෙමි.</verse>
				<verse number="11">එහෙත්, මාගේ සෙනඟ මාගේ හඬට සවන් නුදුන්නෝ ය. ඉශ්රායෙල්වරු මට කීකරු නො වූ හ.</verse>
				<verse number="12">ඔවුන්ගේ ගල් සිත නිසා, මම ඔවුන් ප්‍රතික්ෂේප කෙළෙමි. එවිට ඔව්හු ඔවුන්ගේ ම මතිමතාන්තර අනුව ගමන් කළෝ ය.</verse>
				<verse number="13">මාගේ සෙනඟ මට සවන් දෙන්නෝ නම්, ඉශ්රායෙල්වරු මා අනුව එන්නෝ නම්, කොතරම් යහපත් ද?</verse>
				<verse number="14">එවිට මම ඔවුන්ගේ සතුරන් වහා පරාජය කරන්නෙමි; ඔවුන්ගේ එදිරිකාරයන්ට විරුද්ධ ව මම පහර දෙන්නෙමි.</verse>
				<verse number="15">සමිඳුන් හට වෛර කරන්නෝ එතුමන් අබිමුව බියෙන් පැකිළෙන්නෝ ය. ඔවුන්ගේ විපත සදහට ම තිර වන්නේ ය.</verse>
				<verse number="16">එතුමාණෝ ඉස්තරම් ධාන්‍යයෙන් ඔබ පෝෂණය කරන සේක. වන මී පැණියෙන් මම ඔබ සෑහීමට පත් කරන්නෙමි.”</verse>
			</chapter>
			<chapter number="82">
				<verse number="1">ආසාප්ගේ ගීතයකි. දෙවිඳාණෝ දේව සභාවෙහි මුල’සුන ගන්න සේක. දෙවිවරුන් මැද විනිශ්චය කරන සේක.</verse>
				<verse number="2">ඔබ කොපමණ කලක් අයුතු ලෙස විනිශ්චය කරන්නහු ද? දුදනන්ගේ පැත්ත ගෙන ක්‍රියා කරන්නහු ද?</verse>
				<verse number="3">දුබලුන්ට හා අනාථයන්ට යුක්තිය පසිඳලන්න; පීඩිතයන්ට හා දිළිඳුන්ට යුක්තිය ඉටු කරන්න;</verse>
				<verse number="4">දුබලුන් හා දිළිඳුන් මුදාලන්න; දුදනන්ගේ ග්‍රහණයෙන් ඔවුන් බේරාගන්න.</verse>
				<verse number="5">නියම දැනීමක් හා තේරුමක් නැති ව ඔව්හු අඳුරෙහි සැරිසරන්නෝ ය. පොළෝ පදනම් සියල්ල කම්පා වන්නේ ය.</verse>
				<verse number="6">
					“ඔබ දෙවිවරු ය”යි මම කීවෙමි;
					ඔබ සියල්ලෝ අති උත්තමයාණන්ගේ දරුවෝ වන්නහු ය.
				</verse>
				<verse number="7">එහෙත්, ඔබ අන් මිනිසුන් මෙන් මරණයට බිලි වන්නහු ය. රජ දරුවන් මෙන් ඔබ සියලු දෙන වැටී යන්නහු ය.</verse>
				<verse number="8">අහෝ දෙවිඳුනි! ඔබ නැඟිට මිහිතලය විනිශ්චය කරන සේක් වා! සියලු ජාතීහු ඔබ වහන්සේට අයිති ය.</verse>
			</chapter>
			<chapter number="83">
				<verse number="1">ආසාප්ගේ ගීතයකි. මාගේ දෙවිඳුනි, නිහඬ ව නොසිටිනු මැනව. දෙවිඳුනි, නිසංසල ව නොසිටිනු මැනව. පිළිතුරු නො දී නොසිටිනු මැනව.</verse>
				<verse number="2">බලනු මැනව, ඔබේ විරුද්ධකරුවෝ කලබල කරන්නෝ ය. ඔබේ සතුරෝ කැරලි ගසන්නෝ ය. ඔබට විරුද්ධ ව නැඟී සිටින්නෝ ය.</verse>
				<verse number="3">ඔව්හු ඔබේ සෙනඟට විරුද්ධ ව කූට උපා යොදන්නෝ ය. ඔබ රැකවරණය දෙන අයට එරෙහි ව කුමන්ත්‍රණ කරන්නෝ ය.</verse>
				<verse number="4">ඔව්හු කතා කොට, “එන්න, ඉශ්රායෙල් නාමය මින් මතු සිහි නොවන පිණිස ඒ මුළු ජාතිය ම වනසාලමු”යි කියන්නෝ ය.</verse>
				<verse number="5">සත්තට ම ඒකමතික ව ඔව්හු කුමන්ත්‍රණය කරන්නෝ ය; ඔබට විරුද්ධ ව පෙරමුණු බඳින්නෝ ය.</verse>
				<verse number="6">ඔව්හු ඒදොම්ගේ සහ ඉෂ්මායෙල්ගේ ගෝත්‍රවලට අයිති තැනැත්තෝ ය. මෝවබ්ගේ සහ හගරීනයන්ගේ ගෝත්‍රවලට අයිති තැනැත්තෝ ය.</verse>
				<verse number="7">මොවුහු ගෙබාල්ගේත්, අම්මොන්ගේත්, අමලෙක්ගේත් වංශවලට අයිති තැනැත්තෝ ය. තීර්හි වාසීන් සමඟ පිලිස්තියාවේ වැසියෝ ය.</verse>
				<verse number="8">අසිරියාව ද ඔවුන් සමඟ අත්වැල් බැඳගත්තේ ය. එය ලොත්ගේ පරපුරට අයත් බලවත් මිතුරා වී ඇත්තේ ය.</verse>
				<verse number="9">
					මිදියන්වරුන්ට සහ සිසෙරාට කළ පරිදි ද කිෂොන් නදිය අසල ජාබීන්ට කළ පරිදි ද ඔවුන්ට කළ මැනව.
				</verse>
				<verse number="10">ඔබ ඔවුන් එන්දෝර්හි දී විනාශ කළ සේක. ඔව්හු පොළොවට පොහොර මෙන් වූ හ.</verse>
				<verse number="11">
					ඔබ ඕරෙබ්ට සහ ශිබ්ට කළ පරිදි ඔවුන්ගේ නායකයන්ටත් කළ මැනව.
					ඔබ සෙබා සහ ශල්මුන්නා පරාජය කළ පරිදි ඔවුන්ගේ පාලකයන් ද පරාජය කළ මැනව.
				</verse>
				<verse number="12">ඔව්හු කතා කොට, “දෙවිඳුන්ට අයිති සාර භූමිය අපේ අයිතිය පිණිස පැහැර ගනිමු”යි කීවෝ ය.</verse>
				<verse number="13">මාගේ දෙවිඳුනි, ඔවුන් සුළඟට ගසාගෙන යන ධූලි මෙන් ද බොල් වී මෙන් ද කළ මැනව.</verse>
				<verse number="14">ගින්න වනාන්තරය දවන සේ ද ගිනිදැල්ල කඳුකරය දවන සේ ද</verse>
				<verse number="15">ඔබේ චණ්ඩ මාරුතයෙන් ඔවුන් ලුහුබැඳ යනු මැනව. ඔබේ සැඬ සුළඟින් ඔවුන් බිය ගැන්වුව මැනව.</verse>
				<verse number="16">සමිඳුනි, ඔවුන්ගේ මුහුණු විළි ලජ්ජාවෙන් පිරෙවුව මැනව. ඔබේ නාමය පිළිගන්න තෙක් එලෙස කළ මැනව.</verse>
				<verse number="17">ඔව්හු සදහට ම පරාජය වී භීතියෙන් පෙළෙත් වා! අපකීර්තියෙන් ඔව්හු වැනසී යත් වා!</verse>
				<verse number="18">ඔබ වහන්සේගේ නාමය පමණක් ‘සමිඳාණෝ’ බව ද මිහි පිට ඔබ පමණක් ‘අති උත්තමයාණෝ’ බව ද ඔව්හු දැනගනිත් වා!</verse>
			</chapter>
			<chapter number="84">
				<verse number="1">සව් බලැති දෙවිඳුනි, ඔබේ වාසභවනය කොතරම් මනහර ද?</verse>
				<verse number="2">මසිත සමිඳුන්ගේ මන්දිර දෙස දැවෙන ආශාවෙන් බලා සිටියි. මාගේ ගත සිත ජීවමාන දෙවිඳුන්ට ප්‍රීතියෙන් ගී ගයයි.</verse>
				<verse number="3">සව් බලැති දෙවිඳුනි, මාගේ රජාණන් වන දෙවිඳුනි, ගේ කිරිල්ලිය ගෙයක් ද වැහිලිහිණිය ඇගේ පැටවුන් දැමීමට කැදැල්ලක් ද ඔබේ පූජාසනයෙහි සොයාගෙන ඇත.</verse>
				<verse number="4">ඔබේ ගෘහයෙහි වසන්නෝ කොපමණ වාසනාවන්ත ද? ඔව්හු නිරතුරු ඔබට පසස් ගී ගයන්නෝ ය.</verse>
				<verse number="5">වන්දනාවේ යන පිණිස සිත යොමු කරගත්, ඔබ සරණ කොටගත් අය කොපමණ වාසනාවන්ත ද?</verse>
				<verse number="6">ඔව්හු වැලපීමේ මිටියාවත මැදින් යන කල එය උල්පත් සහිත ස්ථානයක් කරගනිති. පළමු වන වැහි වලාව එය දිය කඩිතිවලින් පුරවන්නේ ය.</verse>
				<verse number="7">ඔව්හු වැඩි වැඩියෙන් ශක්තිමත් වන්නෝ ය; සියොන් කන්දෙහි වැඩ සිටින දේවාතිදෙවිඳුන් දකින්නෝ ය.</verse>
				<verse number="8">සමිඳුනි, සව් බලැති දෙවිඳුනි, මා අයැදුම ඇසුව මැනව. අහෝ ජාකොබ්ගේ දෙවිඳුනි! මට සවන් දුන මැනව.</verse>
				<verse number="9">අපේ පලිහ වන දෙවිඳුනි, බලනු මැනව. ඔබේ අභිෂේක ලත් තැනැත්තා දෙස කරුණා බැල්ම හෙළනු මැනව.</verse>
				<verse number="10">ඔබේ මණ්ඩපයෙහි එක් දිනක් සිටීම අන් තැනක දින දහසකට වඩා කොපමණ වාසනාවන්ත ද? දුදනන්ගේ නිවෙස්වල ජීවත් වීමට වඩා මාගේ දෙවිඳුන්ගේ නිවෙසෙහි දොරටුව ළඟ සිටීමට මම කැමැත්තෙමි.</verse>
				<verse number="11">සමිඳාණෝ පවුර ද පලිහ ද වන සේක; අපට කරුණාවත්, මහිමයත් පෙන්වමින් ආශීර්වාද කරන සේක; නිදොස් ලෙස හැසිරෙන අයට සෑම යහපතක් දෙන සේක.</verse>
				<verse number="12">අහෝ සව් බලැති සමිඳුනි! ඔබ අදහන මිනිසා කොපමණ වාසනාවන්ත ද?</verse>
			</chapter>
			<chapter number="85">
				<verse number="1">කෝරාගේ පුත්‍රයන්ගේ ගීතයකි. සමිඳුනි, ඔබ දේශයට කරුණා කළ සේක; ජාකොබ්ගේ සම්පත ආපසු දුන් සේක.</verse>
				<verse number="2">ඔබ ඔබේ සෙනඟගේ වරදට කමා කළ සේක; ඔවුන්ගේ සියලු ම පාපවලට ද සමාව දුන් සේක.</verse>
				<verse number="3">ඔබ ඔබේ සියලු කෝපාග්නිය නිවාදැමූ සේක; ඔබේ ඇවිලෙන උදහස පහකළ සේක.</verse>
				<verse number="4">අපේ ගැළවුම්කාර දෙවිඳුනි, අප ආපසු ගෙන අව මැනව. ඔබේ කෝපය අප වෙතින් ඉවත් කළ මැනව.</verse>
				<verse number="5">සදහට ම ඔබ අප සමඟ උදහස් ව සිටින සේක් ද? ඔබේ කෝපය පරපුරෙන් පරපුරට ඇවිළි ඇවිළී යන්න ඉඩ දෙන සේක් ද?</verse>
				<verse number="6">ඔබේ සෙනඟ ඔබ තුළ ප්‍රීති ප්‍රමෝද වන පිණිස ඔබ යළි අපට ජීවනය දුන මැනව.</verse>
				<verse number="7">සමිඳුනි, ඔබේ තිර පෙම අපට පෙන්නුව මැනව. ගැළවීමේ පිහිට අපට ද දානය කළ මැනව.</verse>
				<verse number="8">දෙව් සමිඳුන් වදාරන වදනට සවන් දෙමි, මන්ද, සිය සෙනඟට ද සැදැහැවතුන්ට ද එතුමාණන් තුළ විශ්වාසය තබන අයට ද සමිඳාණෝ සාමදානය දීමට පොරොන්දු වූ සේක.</verse>
				<verse number="9">එතුමන් හට ගරුබිය පාන අයට ගැළවීම ඉතා සමීප ව ඇත්තේ ය. සත්තට ම එතුමන්ගේ මහිමාලංකාරය අප රටෙහි බබළන්නේ ය.</verse>
				<verse number="10">තිර පෙම සහ විශ්වාසවන්තකම හමු වන්නේ ය. දැහැමි බව සහ සාමය වැළඳ ගන්නේ ය.</verse>
				<verse number="11">විශ්වාසවන්තකම මිහි තලයෙන් ඉහළට නඟින්නේ ය. දැහැමි බව සගලොවින් පහළට බසින්නේ ය.</verse>
				<verse number="12">සමිඳාණෝ අප සමෘද්ධිමත් කරන සේක. අපේ දේශය එහි පලදාව නිපදවන්නේ ය.</verse>
				<verse number="13">දැහැමි බව එතුමන්ට පෙරටු ව යන්නේ ය. එතුමන්ගේ පා සළකුණු මාර්ගයක් වන්නේ ය.</verse>
			</chapter>
			<chapter number="86">
				<verse number="1">දාවිත්ගේ යාච්ඤාවකි. සමිඳුනි, ඔබ කන් යොමා මට පිළිතුරු දුන මැනව. මන්ද, මම අසරණ ය; මම දුබල ය.</verse>
				<verse number="2">මා භක්තිවන්ත බැවින් මා මරණින් මුදනු මැනව; ඔබ කෙරෙහි විශ්වාස කරන ඔබේ දාසයා මුදාලුව මැනව.</verse>
				<verse number="3">මාගේ සමිඳුනි, මට අනුකම්පා කළ මැනව. මුළු දවස පුරා මම ඔබට අයැදිමි.</verse>
				<verse number="4">ඔබේ දාසයාගේ සිත ප්‍රීතිමත් කළ මැනව. මන්ද, මාගේ සමිඳුනි, මම ඔබට යාච්ඤා කරමි.</verse>
				<verse number="5">මාගේ සමිඳුනි, ඔබ යහපත් ය, ඔබ කමා කරන සේක; ඔබට අයැදින සියල්ලන්ට තිර පෙම බහුල ව ප්‍රදානය කරන සේක.</verse>
				<verse number="6">සමිඳුනි, මාගේ අයැදුමට සවන් දුන මැනව. පිහිට පතමින් මා කරන අයැදුමට කන් දුන මැනව.</verse>
				<verse number="7">විපත් කාලයේ දී මම ඔබට හඬගසන්නෙමි. ඔබ මට පිළිතුරු දෙන සේක.</verse>
				<verse number="8">අහෝ සමිඳුනි! දෙවිවරුන් අතර ඔබට සමාන අන් කෙනෙක් නැත්තේ ය. ඔබේ ක්‍රියාවන්ට සම කළ හැකි අන් ක්‍රියා ද නැත්තේ ය.</verse>
				<verse number="9">
					මාගේ සමිඳුනි, ඔබ මැවූ සියලු ජාතීහු ඔබ වෙත පැමිණ ඔබට නමදින්නෝ ය.
					ඔව්හු ඔබේ නාමය පසසමින් ඔබට ගරු කරන්නෝ ය.
				</verse>
				<verse number="10">ඔබ බලසම්පන්න ය, අරුමපුදුම දේ කරන සේක. ඔබ පමණක් දෙවිඳාණෝ ය.</verse>
				<verse number="11">සමිඳුනි, ඔබේ සත්‍යයෙහි පමණක් ගමන් කරන පිණිස ඔබේ මාර්ගය මට පෙන්නුව මැනව. ඔබේ නාමයට ගරු කරන පිණිස හිතවත්කමින් ම හද එක් කළ මැනව.</verse>
				<verse number="12">මාගේ දෙවි සමිඳුනි, හද පත්ලෙන් මම ඔබට තුති කරමි. ඔබේ නාමය සදහට ම වර්ණනා කරමි.</verse>
				<verse number="13">මා වෙත ඇති ඔබේ තිර පෙම කොපමණ මහත් ද? ගැඹුරු පාතාලයෙන් ඔබ මා මිදූ සේක.</verse>
				<verse number="14">දෙවිඳුනි, අහංකාර අය මට එරෙහි ව නැඟිටින්නෝ ය. ඔබට ගරු නොකරන කුරිරු මිනිස් පිරිසක් මා මරන්නට සොයන්නෝ ය.</verse>
				<verse number="15">මාගේ සමිඳුනි, ඔබ මෙත් සිත් ඇති දයානුකම්පාව පාන දෙවිඳාණෝ ය, ඉවසන සුලු, කරුණාවෙන් සහ විශ්වාසවන්තකමින් සපිරි තැනැන් වහන්සේ ය.</verse>
				<verse number="16">මා වෙත හැරී මට අනුකම්පා කළ මැනව; මා ශක්තිමත් කොට මා ගැළෙවුව මැනව. මන්ද, මාගේ මව ඔබට සේවය කළ පරිදි මම ද ඔබට සේවය කරමි.</verse>
				<verse number="17">ඔබ මට ආධාරය සහ සැනසීම දුන් බව මාගේ සතුරන් දැන ලජ්ජා වන පිණිස, ඔබේ දයා කරුණාවට සාක්ෂියක් දුන මැනව.</verse>
			</chapter>
			<chapter number="87">
				<verse number="1">කෝරාගේ පුත්‍රයන්ගේ කාව්‍යමය ගීතයකි. ශුද්ධ කන්ද මත සමිඳාණෝ සිය නගරය ගොඩනැඟුව සේක.</verse>
				<verse number="2">ඉශ්රායෙල්හි අන්කිසි තැනකට වඩා සමිඳාණෝ ජෙරුසලමට ප්‍රේම කරන සේක.</verse>
				<verse number="3">එම්බා දෙවි නුවර! ඔබ ගැන අසිරිමත් දෙය පවසනු ලබන්නේ ය.</verse>
				<verse number="4">“මා පිළිගන්න ජාතීන් අතර මිසරය සහ බබිලෝනිය සඳහන් කරන්නෙමි. ජෙරුසලමේ වැසියන් සමඟ පිලිස්තිය, තීර් සහ එතියෝපියාව යන දේශවල ජනයා ද ගණන් කරන්නෙමි. ‘මොහු මෙතැන ජන්ම ලාභය ලැබී යැ’යි මිනිස්සු කියන්නෝ ය.</verse>
				<verse number="5">සියොන් කන්ද ගැන මෙසේ කියනු ලබන්නේ ය; ‘සියලු ජාතීහු එහි උපත ලද්දෝ ය; මහෝත්තමයාණෝ ඇය ශක්තිමත් කරන සේක.’</verse>
				<verse number="6">ජනතාවන්ගේ ලේඛනයක් සකස් කරන විට, සියලු දෙන ජෙරුසලම් වැසියන් ලෙස, ‘මොහු මෙතැන ජන්ම ලාභය ලැබී ය’යි සමිඳාණෝ ගණන්ගන්න සේක.</verse>
				<verse number="7">‘අපේ සියලු ආසිරිවල උල්පත සියොන් ය’යි කියමින්, ඔව්හු ගී ගයමින් නටන්නෝ ය.</verse>
			</chapter>
			<chapter number="88">
				<verse number="1">කෝරාගේ පුත්‍රයන්ගේ කාව්‍යමය ගීතයකි. නිජ බිම හේමාන් යන තැනැත්තාගේ ගීතයකි. මාගේ දෙවි සමිඳුනි, මාගේ ගැළවුම්කාරයාණෙනි, දිවා කාලයේ මම ඔබට යදිමි; රෑ කාලයේ මම ඔබට හඬගසමි.</verse>
				<verse number="2">මාගේ අයැදුම ඔබ වෙත පැමිණේ වා! මාගේ හඬට සවන් දුන මැනව.</verse>
				<verse number="3">මාගේ සිත කරදරවලින් ගහණ වී ඇත්තේ ය. මාගේ ජීවිතය මිනී වළට ආසන්න ය,</verse>
				<verse number="4">මරණාසන්න කෙනෙකු මෙන් මම ගණන්ගනු ලැබුවෙමි. මම දුබලයෙකු මෙන් වී ඇත්තෙමි.</verse>
				<verse number="5">මළවුන් අතර ම උන් කෙනෙකු මෙන් මම අත්හරිනු ලැබුවෙමි; සොහොනේ තැන්පත් කරනු ලැබූ කෙනෙකු මෙන් මම වැටී සිටියෙමි; ඔබ විසින් සදහට ම අමතක කරන ලද ඔබේ සරණින් ඈත් වූවෙකු මෙන් වී සිටිමි.</verse>
				<verse number="6">ඔබ මා පාතාලයේ පතුලට හෙළූ සේක. අඳුරු ගැඹුරු පෙදෙසට මා දැමූ සේක.</verse>
				<verse number="7">ඔබේ උදහස මට මහ බරකි; ඔබේ කෝපාග්නිය මට පීඩා කරන්නේ ය.</verse>
				<verse number="8">ඔබ මාගේ මිතුරන් මා වෙතින් ඈත් කළ සේක. මා ඔවුන්ට පිළිකුලක් මෙන් වන්නට හළ සේක. සිරගත වී සිටි බැවින් මට මිදී යා නොහැකි ය.</verse>
				<verse number="9">කරදර නිසා මාගේ නෙත් අඳුරු වී ඇත්තේ ය. සමිඳුනි, මම දිනපතා ඔබ අයැදිමි; ඔබ වෙත මාගේ අත් ඔසවන්නෙමි.</verse>
				<verse number="10">ඔබ වහන්සේ මළවුන් උදෙසා අසිරිමත් දේ කරන සේක් ද? ඔව්හු නැඟිට ඔබ පසසන්නෝ ද?</verse>
				<verse number="11">සොහොන් වළෙහි දී ඔබේ තිර පෙම ගැන ද පාතාලයෙහි දී ඔබේ විශ්වාසවන්තකම ගැන ද කතා කරනු ලැබේ ද?</verse>
				<verse number="12">ඔබේ අසිරිමත් ක්‍රියා අඳුරෙහි දී පෙන්වනු ලැබේ ද? ඔබේ යහපත්කම මළවුන්ගේ දේශයෙහි දී සිහි කරනු ලැබේ ද?</verse>
				<verse number="13">සමිඳුනි, මම ඔබට හඬගසන්නෙමි; අලුයම මාගේ අයැදුම ඔබ වෙත පැමිණේ වා!</verse>
				<verse number="14">සමිඳුනි! ඔබ මා ප්‍රතික්ෂේප කරන්නේ මන් ද? මා වෙතින් ඔබේ මුහුණ සඟවා ගන්නේ මන් ද?</verse>
				<verse number="15">යොවුන් වියේ පටන් පීඩිත ව කෙඳිරි ගාමින් මම මැරෙන්නට ආසන්න ව සිටියෙමි; ඔබෙන් පැමිණෙන දඬුවම්වල බරින් මම තැළී පොඩි වී සිටියෙමි.</verse>
				<verse number="16">ඔබේ කෝපාග්නිය මා ඉහවහ ගොස් ඇත්තේ ය. ඔබේ බියකරු පහර මා විනාශ කර ඇත්තේ ය.</verse>
				<verse number="17">ගංවතුරක් මෙන් ඒවා දවස පුරා මා වටලා සිටින්නේ ය. හාත්පසින් ඒවා ළං වී මා වසා ගන්නේ ය.</verse>
				<verse number="18">මාගේ හිත මිතුරු අසල්වාසීන් පවා ඔබ මා වෙතින් දුරු කළ සේක. මාගේ එක ම හිත මිතුරා නම් අඳුර වේ.</verse>
			</chapter>
			<chapter number="89">
				<verse number="1">එස්රාහි උපන් ඒතාන් නමැත්තාගේ කාව්‍යයකි. සමිඳුනි, ඔබේ තිර පෙම ගැන මම සදහට ම ගයන්නෙමි. ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවසන්නෙමි.</verse>
				<verse number="2">ඔබේ තිර පෙම සදහට ම පවතින බව මම ඒකාන්තයෙන් ම පිළිගනිමි; ඔබේ විශ්වාසවන්තකම අහස මෙන් තිරසර බව මම දනිමි.</verse>
				<verse number="3">ඔබ මෙසේ වදාළ සේක: “මා තෝරාගත් තැනැත්තා සමඟ මම ගිවිසුමක් කෙළෙමි; මාගේ සේවක දාවිත්ට මම මෙසේ දිවුළෙමි:</verse>
				<verse number="4">
					‘මම ඔබේ පෙළපත සදහට ම පිහිටුවන්නෙමි.
					පරපුරෙන් පරපුරට ඔබේ සිහසුන ගොඩනඟන්නෙමි.’ “
				</verse>
				<verse number="5">අහෝ සමිඳුනි! ඔබ කරන අසිරිමත් ක්‍රියා ගැන අහස් තලය ගී ගයන්නේ ය. සුරලොව පිරිස් ඔබේ විශ්වාසවන්තකම ගැන ගීතිකා කරන්නෝ ය.</verse>
				<verse number="6">සමිඳුන්ට සම කළ හැකි කිසිවෙක් අහස් තලයෙහි ඇද් ද? දෙවිවරුන් අතර සමිඳුන්ට සමාන වනුයේ කවරෙක් ද?</verse>
				<verse number="7">සුද්ද සෙන් සබ මැද ඔබට ගරුබිය දක්වන්නෝ ය. සියල්ලෝ ඔබට බියෙන් සිටින්නෝ ය.</verse>
				<verse number="8">සව් බලැති දෙවි සමිඳුනි, ඔබ හා සම, බලසම්පන්න අන් කවරෙක් ද? සමිඳුනි, සියල්ලෙහි දී ඔබ විශ්වාසවන්ත ය.</verse>
				<verse number="9">ඔබ චණ්ඩ සමුද්‍රය පාලනය කරන සේක; එහි රළපතර නඟින කල ඔබ ඒවා දමනය කරන සේක.</verse>
				<verse number="10">ඔබ රාහබ් නම් දිය රකුසා කැබලි කොට සුණු විසුණු කරදැමූ සේක; සිය බාහු බලය පා සතුරන් පලවා හළ සේක.</verse>
				<verse number="11">අහස් තලය ඔබේ ය, මිහි තලය ද ඔබේ ය, පොළොවත්, එහි ඇති සියල්ලත් ඔබ මැවූ සේක.</verse>
				<verse number="12">උතුරත්, දකුණත් ඔබ මැවූ සේක; තාබෝර් සහ හර්මොන් යන කඳු ඔබේ නමට ප්‍රීතියෙන් ගී ගයන්නේ ය.</verse>
				<verse number="13">ඔබේ බාහුව ප්‍රබල ය; ඔබේ අත බලවත් ය. ඔබේ දකුණත ජයෙන් ඔසවා ඇත්තේ ය.</verse>
				<verse number="14">සාධාරණකම සහ යුක්තිය ඔබ සිහසුනේ පදනම් ය; තිර පෙම හා සත්‍යය ඔබ කරන සියල්ලෙහි වේ.</verse>
				<verse number="15">සමිඳුනි, ගී ගයමින් ඔබ නමදින්නෝ ද ඔබේ කරුණා ආලෝකය තුළ හැසිරෙන්නෝ ද භාග්‍යවන්තයෝ ය.</verse>
				<verse number="16">දවස පුරා ඔව්හු ඔබ අබියස ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය; ඔබේ දැහැමිකම ගැන වෙසෙසින් පසසන්නෝ ය.</verse>
				<verse number="17">ඔබ අපට මහිමාන්විත ජයග්‍රහණ දෙන සේක. ඔබේ කරුණාවෙන් ඔබ අපට ජය අත්කර දෙන සේක.</verse>
				<verse number="18">සමිඳුනි, ඔබ අපේ ආරක්ෂාකරු අපට තෝරා දුන් සේක. ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳුන් වන ඔබ අපේ රජු අපට දුන් සේක.</verse>
				<verse number="19">කලකට පෙර ඔබ දර්ශනය වී, බැතිමතුන් හට කතා කොට මෙසේ වදාළ සේක: “මම වීරයෙකු හිස මත කිරුළ තැබුවෙමි; මාගේ සෙනඟ අතරෙන් තෝරාගත් තැනැත්තෙකුට සිහසුන දිනිමි.</verse>
				<verse number="20">
					මා සේවක දාවිත් මම සොයාගත්තෙමි;
					ශුද්ධ තෛලයෙන් මම ඔහු ආලේප කෙළෙමි.
				</verse>
				<verse number="21">මාගේ ශක්තිය නිරතුරු ඔහු සමඟ වන්නේ ය; මාගේ බලය ඔහු සවිමත් කරන්නේ ය.</verse>
				<verse number="22">කිසි ම සතුරෙක් ඔහුට විරුද්ධ ව නැඟිට ජය ගන්නේ නැත; කිසි ම දුදනෙක් ඔහු පරාජය කරන්නේ නැත.</verse>
				<verse number="23">මම ඔහුගේ එදිරිකරුවන්ට පහර දෙන්නෙමි; ඔහුට වෛර කරන සියල්ලන් වනසාලන්නෙමි.</verse>
				<verse number="24">මාගේ විශ්වාසවන්තකම සහ තිර පෙම ඔහු සමඟ වන්නේ ය; මාගේ නාමයෙන් ඔහු ජයග්‍රාහී වන්නේ ය.</verse>
				<verse number="25">මම ඔහුගේ බලය මහ මුහුදේ පිහිටුවන්නෙමි; එය ගංගාව දක්වා පතුරුවා හරින්නෙමි.</verse>
				<verse number="26">ඔහු මට මොරගසමින්, ‘ඔබ මාගේ දෙවිඳාණෝ ය, මාගේ පියාණෝ ය, මාගේ ආරක්ෂක පර්වතයාණෝ ය’ කියන්නේ ය.</verse>
				<verse number="27">
					ඔහු මාගේ කුලුඳුල් පුතණුවන් කොට ද මිහි පිට රජුන් අතර අග රජු කොට ද මම ඔහු පත් කරන්නෙමි.
				</verse>
				<verse number="28">මම ඔහුට සදහට ම ප්‍රේම කරන්නෙමි; ඔහු උදෙසා මාගේ ගිවිසුම ස්ථිර ව පවත්නේ ය.</verse>
				<verse number="29">ඔහුගේ රාජ වංශය අහස මෙන් තිරසර ව පවතින්නේ ය; ඔහුගේ පෙළපතෙන් ම කෙනෙක් නිරතුරු රජකමට පත් වන්නේ ය.</verse>
				<verse number="30">ඔහුගේ දරුදැරියෝ මාගේ නීතියට අකීකරු වන්නෝ නම්, මාගේ නියමයන්ට අනුව ජීවත් නොවන්නෝ නම්,</verse>
				<verse number="31">ඔව්හු මාගේ නියෝග නොසලකා හරින්නෝ නම්, මාගේ අණපණත් නොපිළිපදින්නෝ නම්,</verse>
				<verse number="32">එවිට, ඔවුන්ගේ කැරලිගැසීමට දණ්ඩෙන් ද ඔවුන්ගේ අපරාධවලට කස පහරින් ද මම දඬුවම් දෙන්නෙමි.</verse>
				<verse number="33">එහෙත්, මම මාගේ ප්‍රේමය කවදාවත් දාවිත්ගෙන් ඉවත් නොකරන්නෙමි. ඔහු කෙරෙහි මාගේ විශ්වාසවන්තකම නිෂ්ප්‍රභ නොකරන්නෙමි.</verse>
				<verse number="34">මම මාගේ ගිවිසුම කඩ නොකරන්නෙමි; පොරොන්දු කිසිවක් වෙනස් නොකරන්නෙමි.</verse>
				<verse number="35">මම මාගේ ශුද්ධවන්තකම පිට සදහට ම දිවුළෙමි; එබැවින් දාවිත්ට මම බොරුවක් නොකියන්නෙමි.</verse>
				<verse number="36">ඔහුගේ පෙළපත සදහට ම පවතින්නේ ය; ඔහුගේ සිහසුන මා අබියස හිරු මෙන් බබළන්නේ ය.</verse>
				<verse number="37">ඔහුගේ පෙළපත සඳ මෙන් දිගට ම ජීවත් වන්නේ ය; අහස පවත්නා තෙක් එය තිරසර ව පවතින්නේ ය.”</verse>
				<verse number="38">එහෙත්, ඔබ ඒ රජ කෝපයෙන් පහකළ සේක. ඔබේ අබිසෙස් ලත් තැනැත්තා කෙරෙහි උදහසින් රොස් වූ සේක;</verse>
				<verse number="39">ඔබේ සේවකයා සමඟ ඔබ කළ ගිවිසුම ඔබ කඩකළ සේක. ඔහුගේ කිරුළ බිම හෙළා කෙලෙසා දැමූ සේක.</verse>
				<verse number="40">ඔබ ඔහුගේ පවුරු සියල්ල බිඳදැමූ සේක; ඔහුගේ බලකොටු නටබුන් කළ සේක.</verse>
				<verse number="41">මඟ යන එන සියල්ලෝ ඔහුගෙන් කොල්ල කන්නෝ ය; ඔහුගේ අසල්වැසියෝ ඔහුට සමච්චල් කරන්නෝ ය.</verse>
				<verse number="42">ඔබ ඔහුගේ එදිරිකරුවන්ට ජය අත්කර දුන් සේක; ඔබ ඔහුගේ සියලු සතුරන්ට ප්‍රීතිය ගෙන දුන් සේක.</verse>
				<verse number="43">ඔබ උදහසින් ඔහුගේ කඩු මුවහත නමාදැමූ සේක; සටනේ දී ඔහුගේ කඩුව එසවීමට ඉඩ නොහැරිය සේක.</verse>
				<verse number="44">ඔබ ඔහුගේ ජයකොන්තය පැහැර ගත් සේක; ඔහුගේ සිහසුන බිම හෙළූ සේක.</verse>
				<verse number="45">ඔබ ඔහුගේ යොවුන් විය කෙටි කළ සේක. ඔහු අපකීර්තියට පත් කළ සේක.</verse>
				<verse number="46">සමිඳුනි, ඔබ සදහට ම අපෙන් ඈත් වී සිටින සේක් ද? කොපමණ කලක් ඔබේ උදහස් ගින්න ඇවිලෙන්නේ ද?</verse>
				<verse number="47">මාගේ කාලය කොපමණ කෙටි දැ යි සිහි කරනු මැනව. මන්ද, මැරෙන සුලු අය මෙන් ඔබ සියලු මිනිසුන් මැවූ සේක.</verse>
				<verse number="48">ජීවමාන කවරෙක් නම්, මරණයට ගොදුරු නොවන්නේ ද? පාතාල ලෝකයේ බලයෙන් කවරෙක් තමා ම මුදාගන්නේ ද?</verse>
				<verse number="49">අහෝ සමිඳුනි! ඔබ කලින් පෑ තිර පෙම දැන් කොතැන්හි ද? දාවිත්ට දුන් විශ්වාසවන්ත පොරොන්දු දැන් කොහි ද?</verse>
				<verse number="50">සමිඳුනි, ඔබේ සේවකයා ලබන නින්දාව සිහි කරනු මැනව. විජාතීන්ගේ නින්දාව මා විඳින රඟ සිහි කරනු මැනව.</verse>
				<verse number="51">සමිඳුනි, ඔබේ සතුරෝ ඔබේ ආලේප ලත් රජුට අපහාස කරන්නෝ ය; ඔහු යන යන තැන ඔහුට ගරහන්නෝ ය.</verse>
				<verse number="52">සමිඳුන්ට සදහට ම ආසිරි වේ වා!</verse>
			</chapter>
			<chapter number="90">
				<verse number="1">දේව භක්තික මෝසෙස්ගේ යාච්ඤාවකි. සමිඳුනි, පරපුරෙන් පරපුරට ඔබ වහන්සේ අපේ වාසස්ථානය වන සේක.</verse>
				<verse number="2">කඳු හෙල් ඇති වන්නට පෙර සිට ඔබ පොළොව ද සක්වළ ද මවන්නට පෙර සිට සදාකාලයෙන් සදාකාලයට ම ඔබ දෙවියන් වහන්සේ වන සේක.</verse>
				<verse number="3">ඔබ මිනිසා යළි දූවිල්ලට හරවන සේක, “මිනිසුනි, දූවිල්ලට හැරේවා” කියා ඔබ වදාරන සේක.</verse>
				<verse number="4">
					ඔබ ඇස් ඉදිරියෙහි වසර දහසක් ගෙවී ගිය ඊයේ දවස වැනි ය,
					රැයේ එක යාමයක් වැනි ය.
				</verse>
				<verse number="5">සැඬ පහරකින් මෙන් ඔබ මිනිසුන් ගෙන යන සේක; ඔව්හු සිහිනයක් මෙන් පහ වී යති; උදේ දලු දැමූ තණ පත හා සමාන වන්නෝ ය.</verse>
				<verse number="6">උදේ ඒවා සරුසාර ලෙස වැඩෙන්නේ ය, සවස් කල පර වී වියළී යන්නේ ය.</verse>
				<verse number="7">ඔබේ කෝපය අප දවාලන්නේ ය; ඔබේ උදහස අප කළඹාලන්නේ ය.</verse>
				<verse number="8">අප අයුතුකම් ඔබට පෙනෙන්නේ ය. අපේ රහස් පව් ඔබේ මුහුණේ එළියට ලක් වන්නේ ය.</verse>
				<verse number="9">අප දිවි පෙවෙත ඔබේ උදහස මැද ගෙවී යන්නේ ය; අප ආයු සුසුමක් සේ කෙළවර වන්නේ ය.</verse>
				<verse number="10">අප ආයු හැත්තෑ අවුරුද්දකි, සවි ශක්තිය ඇත්නම්, අසූවක් විය හැකි ය. එහෙත්, ඒ කාලය කම්කටොළු හා දුක ම ය. අප ආයු ගෙවී ගොස් දිවි පෙවෙත වහා නිම වන්නේ ය.</verse>
				<verse number="11">ඔබේ කෝපයේ බලවත්කම දන්නේ කවරෙක් ද? ඔබේ උදහසින් වන භීතිය කාට තේරුම්ගත හැක්කේ ද?</verse>
				<verse number="12">දිවි පෙවෙත කොතරම් ලුහුඬු ද කියා වටහා දුන මැනව. මෙය මෙනෙහි කරන පිණිස නැණවත් සිතක් අපට දුන මැනව.</verse>
				<verse number="13">සමිඳුනි, මෙපමණ දිගු කලක් ඈත් වී නොසිට ඔබ අප වෙත පෙරළා පැමිණිය මැනව. ඔබේ දාසයන්ට අනුකම්පා කළ මැනව.</verse>
				<verse number="14">උදයෙන් උදය ඔබේ ප්‍රේමයෙන් පිරී අපි අවදි වමු. දිවිය පුරා තුටු පහටු සිතින් අපි ගී ගයමු.</verse>
				<verse number="15">අප පීඩා වින්ද සමය පමණට ද අප නපුරට ලක් වූ කාලය තරමට ද අපට සොම්නස් සමයක් දුන මැනව.</verse>
				<verse number="16">ඔබේ ප්‍රබල ක්‍රියා ඔබේ මෙහෙකරු අපට ද ඔබේ තේජස අප පරපුරට ද දක්නට වරම් දුන මැනව.</verse>
				<verse number="17">අප දෙවිඳුන්ගේ කරුණාව අප කෙරෙහි බැබළේ වා! අපේ වැඩ කටයුතු ඔබ මඟින් ජයෙන් ජයට පැමිණේ වා! අපේ වැඩ කටයුතු ඔබ මඟින් ජයෙන් ජයට ම පැමිණේ වා!</verse>
			</chapter>
			<chapter number="91">
				<verse number="1">පරමෝත්තමයාණන්ගේ රැකවරණයෙහි වසන තැනැත්තේ, සව් බලැති දෙවිඳුන්ගේ සරණෙහි සුරැකි වන්නේ ය.</verse>
				<verse number="2">ඔහු සමිඳුන්ට මෙසේ පවසයි: “එතුමාණෝ මාගේ රැකවරණය ය; මාගේ බලකොටුව ය; මාගේ දෙවිඳාණෝ ය. මම එතුමන් කෙරෙහි මාගේ විශ්වාසය තබන්නෙමි.”</verse>
				<verse number="3">එතුමාණෝ, කපටින්ගේ මලපත්වලින් ද බියකරු ලෙඩරෝගවලින් ද අප රැකගන්න සේක.</verse>
				<verse number="4">සිය පියාපත්වලින් ඔබ ආවරණය කරන සේක; ඒවා ඔබේ රැකවරණ වන්නේ ය. එතුමන්ගේ විශ්වාසවන්තකම ඔබට රැකවරණය ද පලිහ ද වන්නේ ය.</verse>
				<verse number="5">රෑ කාලයේ ඇති වන බියට වත්, දවාලේ ඊ පහරින් වන උවදුරට වත් ඔබ බිය නොවන්නෙහි ය.</verse>
				<verse number="6">අඳුරේ සැරිසරන වසංගතයට වත්, මද්දහනේ වනසාලන පීඩාවට වත්, ඔබ බිය නොවන්නෙහි ය.</verse>
				<verse number="7">දහසක් ඔබේ වම් පසින් ද දස දහසක් ඔබේ දකුණු පසින් ද වැටෙන්නෝ ය. එහෙත්, පීඩාවක් ඔබට නම් ඇති නොවන්නේ ය.</verse>
				<verse number="8">ඔබේ ම දෙනෙතින් මේ සියල්ල ඔබ දකින්නෙහි ය. දුදනන්ට වන දඬුවම ඔබ නරඹන්නෙහි ය.</verse>
				<verse number="9">ඔබ, සමිඳාණන් තුළ ඔබේ රැකවරණය තැබුවෙහි ය. පරමෝත්තමයාණන් ඔබේ වාසභවනය කරගත්තෙහි ය.</verse>
				<verse number="10">එවිට ඔබට කිසි උවදුරක් නොවන්නේ ය; ඔබේ නිවෙසට කිසියම් වසංගතයක් ළං නොවන්නේ ය.</verse>
				<verse number="11">
					ඔබ ගන්න සෑම පියවරක දී ඔබ රක්නා පිණිස, එතුමාණෝ සිය දූතයන්ට අණ දෙන සේක.
				</verse>
				<verse number="12">
					ඔබ දෙපා, ගල්වල නොහැප්පෙන පිණිස, ඔව්හු සිය’තින් ඔබ උසුලාගන්නෝ ය.
				</verse>
				<verse number="13">
					ඔබ, සිංහයෙකු වුවත්, සර්පයෙකු වුවත් පාගන්නෙහි ය;
					ඔබ කේශර සිංහයෙකු වුවත්, මකරෙකු වුවත් පාගා දමන්නෙහි ය.
				</verse>
				<verse number="14">සමිඳාණෝ මෙසේ වදාරන සේක: “ඔහු මට ප්‍රේම කරන්නේ නම්, මම ඔහුට විමුක්තිය දෙන්නෙමි. ඔහු මාගේ නාමය පිළිගන්නේ නම්, මම ඔහු රැකගන්නෙමි.</verse>
				<verse number="15">ඔහු මට අයැදින්නේ නම්, මම පිළිතුරු දෙන්නෙමි. දුකේ දී ඔහු සමඟ සිට ඔහු මුදා මම ඔහුට ගරු කරන්නෙමි.</verse>
				<verse number="16">දිගායු දී ඔහු සතුටු කරන්නෙමි. මාගේ ගැළවීම මම ඔහුට සපුරා දක්වන්නෙමි.”</verse>
			</chapter>
			<chapter number="92">
				<verse number="1">සබත් දින ගායනය සඳහා ය. සමිඳුනි, ඔබට තුති පිදීම හොබනේ ය; මහෝත්තමයාණෙනි, ඔබේ නාමය වර්ණනා කිරීම යහපත් ය.</verse>
				<verse number="2">උදෑසන ඔබේ පෙම පැවසීම හොබනේ ය. රෑ යාමයේ දී ඔබේ විශ්වාසවන්තකම පැවසීම යහපත් ය.</verse>
				<verse number="3">තත් දසයේ වීණාවේ හා කුඩා වීණාවේ වාදන මඟින් ද මහ වීණාවේ තනුවට ද ඔබේ ගුණ වැණීම හොබනේ ය.</verse>
				<verse number="4">සමිඳුනි, ඔබේ වීර ක්‍රියාවෝ මා සතුටට පත් කරන්නෝ ය. ඔබේ දෑතෙහි ක්‍රියා ගැන මම තුති ගී පවසමි.</verse>
				<verse number="5">ඔබේ ක්‍රියා කොපමණ උත්තරීතර ද? ඔබේ සිතුවිලි කොපමණ ගැඹුරු ද?</verse>
				<verse number="6">මෝඩ මිනිසා මේ ගැන නොදන්නේ ය; අනුවණයන්ට මෙය තේරුම්ගත නොහැකි ය.</verse>
				<verse number="7">දුදනන් වල් පැළෑටි මෙන් වැඩෙන නමුත්, නපුරුකම් කරන සියල්ලන් සශ්‍රීක වන නමුත්, එතුමාණෝ සදහට ම ඔවුන් වනසන සේක.</verse>
				<verse number="8">එහෙත් සමිඳුනි, සදාකාලයට ම ඔබ මහෝත්තමයාණෝ ය.</verse>
				<verse number="9">අහෝ සමිඳුනි! ඔබේ සතුරෝ එසේ ය, ඔබේ සතුරෝ වනසනු ලබන්නෝ ය. සියලු නපුරුකම් කරන්නෝ විසුරුවනු ලබන්නෝ ය.</verse>
				<verse number="10">ඔබ මා කුළු හරකෙකු මෙන් ශක්තිමත් කළ සේක; ඔබ නව තෙලින් මා ආලේප කළ සේක.</verse>
				<verse number="11">මාගේ සතුරන්ගේ පරාජය මම දෑසින් දුටුවෙමි. දුදනන්ගේ දුක් විලාපයට සවන් දිනිමි.</verse>
				<verse number="12">දැහැමියෝ තාල වෘක්ෂ මෙන් සරුසාර වන්නෝ ය; ලෙබනොන්හි කිහිරි ගස් මෙන් වැඩෙන්නෝ ය.</verse>
				<verse number="13">සමිඳුන්ගේ නිවෙසෙහි ඔබ ඒවා රෝපණය කළ සේක. දේව මණ්ඩපයෙහි ඒවා සරු ලෙස වැඩෙන්නේ ය.</verse>
				<verse number="14">වයස ගිය පසු පවා ඒවා පලදාව දෙන්නේ ය; සාරවත් ව නිල් පැහැ ව ඒවා පවතින්නේ ය.</verse>
				<verse number="15">එසේ වන්නේ, සමිඳාණන් සාධාරණ බව ද මාගේ ආරක්ෂකයාණන් තුළ වරදක් නොමැති බව ද දක්වනු පිණිස ය.</verse>
			</chapter>
			<chapter number="93">
				<verse number="1">සමිඳාණෝ රජකම් කරන සේක; ජයශ්‍රීය නමැති ඉඟ පටිය බැඳ මහිමාලංකාරයෙන් සැරසී සිටින සේක. සදහට ම නොසැලෙන සක්වළ පිහිටෙවු සේක.</verse>
				<verse number="2">ඔබේ සිහසුන ආදියේ පටන් තිරසර ව පිහිටා ඇත්තේ ය. ඔබ අනාදියේ පටන් වැඩ සිටින සේක.</verse>
				<verse number="3">සමිඳුනි, සමුදුර රළපතර, එසේ ය, සමුදුර රළපතර, මහ හඬින් ගර්ජනා කරන්නේ ය; ඒවා මහ හඬින් ගිගුම් දෙන්නේ ය.</verse>
				<verse number="4">සමිඳාණෝ අහස් තලයෙහි ශ්‍රේෂ්ඨ ලෙස රජකම් කරන සේක; එතුමාණෝ ගිගුරුම් හඬ නඟන මුහුදු ජලයට වඩා බලසම්පන්න ය, රළපතරට වඩා බලවත් ය.</verse>
				<verse number="5">සමිඳුනි, ඔබේ අණපණත් සදාතනික ය. ඔබේ දේව මාලිගාව සැබැවින් ම සදහට ම සුවිශුද්ධ ය.</verse>
			</chapter>
			<chapter number="94">
				<verse number="1">සමිඳුනි, ඔබ වරදට දඬුවම් දෙන දෙවි කෙනෙකි; ඔබේ උදහස පෙන්නුව මැනව.</verse>
				<verse number="2">ලෝකයේ විනිසකරුවාණෙනි, නැඟිටිනු මැනව; අහංකාර අය හට නියම විපාකය දුන මැනව.</verse>
				<verse number="3">සමිඳුනි, දුදනෝ කොපමණ කල් ජයශ්‍රීයෙන් උදන් අනන්නෝ ද? තව කොපමණ කල් ජය ගොස කරන්නෝ ද?</verse>
				<verse number="4">අපරාධකාරයෝ තව කොපමණ කල් අහංකාර වන්නෝ ද? ඔව්හු තමන්ගේ අපරාධ ගැන තව කොපමණ කල් වහසි බස් දොඩන්නෝ ද?</verse>
				<verse number="5">සමිඳුනි, ඔව්හු ඔබේ ජනතාව මැඬලන්නෝ ය, ඔබ තෝරාගත් සෙනඟට පීඩා කරන්නෝ ය.</verse>
				<verse number="6">ඔව්හු වැන්දඹුවන් ද අනාථයන් ද නසාදමන්නෝ ය; අප රටේ වසන විදේශීන් මරාදමන්නෝ ය.</verse>
				<verse number="7">“සමිඳුන් හට අප පෙනෙන්නේ නැත; ජාකොබ්ගේ දෙවිඳාණෝ අප ගැන නොසලකන සේකැ”යි ඔව්හු කියන්නෝ ය.</verse>
				<verse number="8">මෝඩයෙනි, තියුණු නැණනුවණ ලබාගැන්මට ඉගෙනගන්න: ආඥානයෙනි, ඔබ කවර දා නැණවත්හු වන්නහු ද?</verse>
				<verse number="9">අපේ කන් මැවූ දෙවිඳුන්ට නෑසෙන්නේ ද? අපට ඇස් දුන් දෙවිඳුන්ට නොපෙනෙන්නේ ද?</verse>
				<verse number="10">විජාතීන්ට දඬුවම් දෙන දෙවිඳාණෝ දඬුවම් නොදෙන සේක් ද? මිනිසාට නැණනුවණ දෙන සමිඳාණෝ මිනිස් සිතුවිලි නොදන්න සේක් ද?</verse>
				<verse number="11">
					මිනිසුන්ගේ සිතුවිලි කවරේ ද කියාත්, ඒවා කොපමණ නිරර්ථක ද කියාත් සමිඳාණෝ දන්න සේක.
				</verse>
				<verse number="12">සමිඳුනි, ඔබ උවදෙස් දුන් මිනිසා භාග්‍යවන්ත ය; ඔබේ අණපණත් ඔබ ඉගැන්වූ තැනැත්තා භාග්‍යවන්ත ය.</verse>
				<verse number="13">ඔහුගේ විපත්ති දිනවලට පසු ඔහුට ඔබ නිදහස දෙන සේක; එසේ වන්නේ, දුදනන් හට වළක් කණින තුරු ය.</verse>
				<verse number="14">සමිඳාණෝ සිය සෙනඟ ඉවත නොලන සේක; තෝරාගත් සිය සෙනඟ අත් නොහරින සේක.</verse>
				<verse number="15">අධිකරණයෙන් සාධාරණ ලෙස නැවත තීන්දුව එන්නේ ය; එවිට දැහැමි සිත් ඇති සියල්ලෝ එය අනුගමනය කරන්නෝ ය.</verse>
				<verse number="16">දුදනන්ට විරුද්ධ ව මාගේ පක්ෂයට කවරෙක් සිටින්නේ ද? නපුර කරන්නන්ට විරුද්ධ ව මාගේ පක්ෂයට කවරෙක් සිටින්නේ ද?</verse>
				<verse number="17">සමිඳාණෝ මට පිහිට නො වූ සේක් නම්, මළවුන්ගේ ලෝකයට විගස යෑමට මට සිදු වන්නට තිබිණි.</verse>
				<verse number="18">“මාගේ පාද ලිස්සන්නේ ය”යි මා කී කල සමිඳුනි, එවිට ඔබේ තිර පෙම මාගේ ආධාරය වූයේ ය.</verse>
				<verse number="19">මා තුළ කරදර හා කණස්සල්ල බහුල වූ කල්හි ඔබ මාගේ සැනසිල්ල වූ සේක; ඔබ මාගේ සිත ප්‍රීතිමත් කළ සේක.</verse>
				<verse number="20">යුක්තිය අයුක්තිය කරවන විනිසකරුවන් සමඟ ඔබේ සබැඳියාවක් නැත. ඔව්හු අයුතු නීතියෙන් නපුරට මඟ පාදන්නෝ ය.</verse>
				<verse number="21">ඔව්හු දැහැමියාගේ ජීවිතයට විරුද්ධ ව කුමන්ත්‍රණය කරන්නෝ ය; නිදොස් තැනැත්තා රහසිගත ව වරදට පත් කරන්නෝ ය.</verse>
				<verse number="22">එහෙත් සමිඳාණෝ, මා උදෙසා බලකොටුවක් වන සේක; මාගේ දෙවිඳාණෝ මට රැකවරණ පර්වතය වන සේක.</verse>
				<verse number="23">එතුමාණෝ ඔවුන්ගේ අදමිටුකමට දඬුවම් කරන සේක. ඔවුන්ගේ නපුරුකම නිසා ඔවුන් නසා වනසාලන සේක. අපේ දෙවි සමිඳාණෝ ඔවුන් විනාශ කරන සේක.</verse>
			</chapter>
			<chapter number="95">
				<verse number="1">එන්න, සමිඳුන් හට ප්‍රීති ප්‍රමෝදයෙන් ගායනා කරමු; අප මිදූ පර්වතයාණන් හට සාදු හඬ නඟා තුති ගී ගයමු.</verse>
				<verse number="2">තුති ගී ගයා එතුමන් අබිමුවට ගමන් කරමු; එතුමන් හට ජය මංගල ගී ගයමු.</verse>
				<verse number="3">මන්ද, සමිඳාණෝ, බලසම්පන්න දෙවිඳාණෝ වන සේක; උතුම් දේවාතිදෙවිඳාණෝ වන සේක.</verse>
				<verse number="4">මිහිතල ගැඹුරු තැන් එතුමන් අතෙහි ය; කඳු ශිඛර එතුමන්ගේ ය.</verse>
				<verse number="5">එතුමාණන් මුහුද සෑදූ බැවින් එය එතුමාණන්ගේ ය; එතුමන් වියළි බිම් ද සෑදූ බැවින් එය ද එතුමන්ගේ ය.</verse>
				<verse number="6">එන්න, හිස නමා එතුමන් හට නමස්කාර කරමු; අප මැවූ සමිඳුන් අබිමුව දණින් වැටෙමු.</verse>
				<verse number="7">
					එතුමාණෝ අපේ දෙවිඳාණෝ ය.
					අපි එතුමන්ගේ සෙනඟ ය; එතුමාණන් පෝෂණය කරන බැටළුවෝ ය. එතුමාණන් පවසන දේට සවන් දුන්නොත් යහපත!
				</verse>
				<verse number="8">
					“පාළුකරයේ මස්සා නම් ස්ථානයේ සිටි දවසේ දී මෙන් ද මෙරිබා නම් ස්ථානයේ දී මෙන් ද ඔබේ සිත් දැඩි කර නොගන්න.
				</verse>
				<verse number="9">එහි දී ඔබේ ආදි පියවරු මා පරීක්ෂා කළෝ ය. මාගේ ක්‍රියා දැක දැකත් මට අභියෝග කළෝ ය.</verse>
				<verse number="10">සතළිස් වසරක් මම ඒ පරපුර පිළිකුල් කෙළෙමි: ‘ඔව්හු වනාහි සිත් නොමඟට හරවා ගෙන යන මාගේ මාර්ගය නොදත් ජනතාවකි.</verse>
				<verse number="11">
					කවදාවත් ඔව්හු මා දෙන රටට ඇතුළු නොවන්නෝ ය’යි මම උදහසින් කිපී දිවුරුම් දුන්නෙමි.”
				</verse>
			</chapter>
			<chapter number="96">
				<verse number="1">සමිඳුන් හට නව ගීයක් ගයන්න; පොළෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ගී ගයන්න.</verse>
				<verse number="2">සමිඳුන් හට ගී ගයා, එතුමන්ගේ නාමයට ආසිරි පතන්න; එතුමන්ගේ ගැළවීමේ ශුභාරංචිය දිනෙන් දින ප්‍රකාශ කරන්න.</verse>
				<verse number="3">විජාතීන් අතර එතුමන්ගේ මහිමය ප්‍රකාශ කරන්න; ජනතාවන් අතර එතුමන්ගේ ප්‍රබල ක්‍රියා පවසන්න.</verse>
				<verse number="4">සමිඳාණෝ උතුම් ය, අතිශයින් පැසසිය යුතු ය; සියලු දෙවිවරුන්ට වඩා එතුමන්ට ගරුබිය පෑ යුතු ය.</verse>
				<verse number="5">ජනතාවගේ සියලු දෙවිවරු පිළිම පමණකි; සමිඳාණෝ ම දෙව් ලොව මැවූ සේක.</verse>
				<verse number="6">ගෞරවය ද තේජස ද එතුමන් අබිමුව පවත්නේ ය; ශක්තිය ද ශෝභාව ද එතුමන්ගේ මැදුරෙහි ඇත්තේ ය.</verse>
				<verse number="7">
					සකල ජනයෙනි, සමිඳුන් පසසන්න;
					ගෞරවය ද බලය ද සමිඳුන් හට පිරිනමන්න.
				</verse>
				<verse number="8">සමිඳුන් නමට හිමි ගෞරවය එතුමන් හට පිරිනමන්න; පඬුරක් රැගෙන එතුමන් ඉදිරියට එන්න.</verse>
				<verse number="9">සමිඳුන් අබිමුව පාරිශුද්ධත්වයෙන් සැරසී වැඳ වැටෙන්න; ලෝ වැසි සියල්ලෙනි, එතුමන් අබිමුව බියෙන් ඇලළී සිටින්න.</verse>
				<verse number="10">විජාතීන් අතර මෙසේ පවසන්න: “සමිඳාණෝ රජකම් කරන සේක; නොසැලෙන ලෙස ලෝකය පිහිටා ඇත; එතුමාණෝ සාධාරණ ලෙස ජනතාවන් විනිශ්චය කරන සේක.</verse>
				<verse number="11">සගලොව ප්‍රීති ප්‍රමෝද වේ වා! නරලොව තුටු පහටු වේ වා! සමුදුරත් එහි ඇති සියල්ලත් ගිගුරුම් දේ වා!</verse>
				<verse number="12">කෙත්වතු සහ එහි ඇති සියල්ලත් ප්‍රීතිමත් වේ වා! එවිට වන රොදෙහි ගස්කොළන් ප්‍රීති නාද දෙන්නේ ය.</verse>
				<verse number="13">සමිඳාණන් මිහිතලය පාලනය කිරීමට වඩින විට ඒවා නද දෙන්නේ ය; එතුමාණෝ, ලෝ වැසියන් සාධාරණ ලෙස ද අවංක ලෙස ද පාලනය කරන සේක.”</verse>
			</chapter>
			<chapter number="97">
				<verse number="1">සමිඳාණෝ රජකම් කරන සේක, මිහිතලය ප්‍රීති වේ වා! දිවයින් සියල්ල ප්‍රීති ප්‍රමෝද වේ වා!</verse>
				<verse number="2">වලාකුළු සහ අඳුර එතුමන් වට කර සිටින්නේ ය. දැහැමිකම සහ යුක්තිය එතුමන්ගේ සිහසුනේ පදනම් ය.</verse>
				<verse number="3">එතුමාණන් පෙරටුවෙන් ගින්නක් යන්නේ ය; එය එතුමන් සිසාරා සිටින සතුරන් දවාලන්නේ ය.</verse>
				<verse number="4">එතුමන්ගේ විදුලිසැර කෙටීම ලෝකයට ආලෝකය දෙයි; පොළොව එය දැක කම්පා වෙයි.</verse>
				<verse number="5">කඳු හෙල් සමිඳාණන් දැක ඉටි මෙන් උණු වන්නේ ය; මුළු මිහිතලය ද සමිඳුන් දැක එසේ වන්නේ ය.</verse>
				<verse number="6">දෙව්ලොව එතුමන්ගේ සාධාරණකම ප්‍රකාශ කරන්නේ ය; සකල ජනතාවෝ එතුමන්ගේ මහිමය නරඹන්නෝ ය.</verse>
				<verse number="7">රූප වඳින්නෝ ද පිළිම ගැන පාරට්ටු කරන්නෝ ද ලජ්ජා වෙත් වා! සියලු දෙවි දේවතාවෝ දෙවිඳුන්ට හිස නමත් වා!</verse>
				<verse number="8">සියොන් කන්ද ඊට සවන් දී තුටින් ඉපිලේ වා! සමිඳුනි, ඔබේ දේව පරිපාලනය නිසා ජුදාහි නගර සතුටු වේ වා!</verse>
				<verse number="9">සව් බලැති දෙවි සමිඳුනි, ඔබ මුළු පොළෝ තලයට ශ්‍රේෂ්ඨ වන සේක; සියලු දෙවි දේවතාවන්ට වඩා ඔබ උතුම් වන සේක.</verse>
				<verse number="10">සමිඳුනි, ඔබ නපුරට වෛර කරන්නන්ට ප්‍රේම කරන සේක; ඔබට ගැති වූවන්ගේ ජීවිත ඔබ ආරක්ෂා කරන සේක; දුෂ්ටයාගේ බලයෙන් ඔබ ඔවුන් මුදාලන සේක.</verse>
				<verse number="11">දැහැමියන් මත එළිය බබළයි; යහපත් අය මත සතුට දිළිසෙයි.</verse>
				<verse number="12">සැදැහැවතුනි, සමිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වෙත් වා! එතුමන්ගේ සුවිශුද්ධ භාවය සිහි කොට එතුමන්ට ප්‍රශංසා කරත් වා!</verse>
			</chapter>
			<chapter number="98">
				<verse number="1">සමිඳුන්ට නව ගීයක් ගයන්න; මන්ද, එතුමාණෝ අසිරිමත් ක්‍රියා කළ සේක. සිය බලයෙන් හා ශුද්ධ ශක්තියෙන් ජයග්‍රහණය ලත් සේක.</verse>
				<verse number="2">සමිඳාණෝ ස්වකීය ජයග්‍රහණය ප්‍රකාශ කළ සේක; විජාතීන්ගේ ඇස් හමුයෙහි සිය විමුක්ති බලය එළිදරව් කළ සේක.</verse>
				<verse number="3">එතුමාණෝ ඉශ්රායෙල් වංශය කෙරෙහි එතුමන්ගේ ප්‍රේමයත්, විශ්වාසවන්තකමත් සිහි කළ සේක. මිහි පිට සියලු දෙන අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝ ය.</verse>
				<verse number="4">එම්බා ලෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ප්‍රීතියෙන් ගී ගයන්න; ප්‍රීති ගී ගයමින් එතුමන් පසසන්න.</verse>
				<verse number="5">වීණාව වයමින් සමිඳුන්ට ගී ගයන්න; වීණාවෙන් ද ගී නාදයෙන් ද ප්‍රශංසා කරන්න.</verse>
				<verse number="6">හොරණෑ හා නළා හඬින් ද රජාණන් වන සමිඳුන් අබිමුව ප්‍රීතියෙන් ගී ගයන්න.</verse>
				<verse number="7">මුහුද ද එහි ඇති සියල්ල ද ගර්ජනා කෙරේ වා! ලෝකය ද එහි වැසියෝ ද ගී ගයත් වා!</verse>
				<verse number="8">ගංගා අත් පොළසන් දේ වා! කඳු හෙල් එක් ව සමිඳුන් හට ප්‍රීති නාද දේ වා!</verse>
				<verse number="9">මන්ද, සමිඳාණෝ මිහිතලය පාලනය කරන පිණිස වඩින සේක; එතුමාණෝ ලෝ වැසියන් ධර්මිෂ්ඨකමින් ද සාධාරණකමින් ද පාලනය කරන සේක.</verse>
			</chapter>
			<chapter number="99">
				<verse number="1">සමිඳාණෝ රජකම් කරන සේක. විජාතීහු බියෙන් කැළෙඹන්නෝ ය. එතුමාණෝ කෙරුබ්වරුන්ට ඉහළින් සිහසුන් අරා වැඩ සිටින සේක. මිහිතලය කම්පා වන්නේ ය.</verse>
				<verse number="2">සමිඳාණෝ සියොන් කන්දෙහි උතුම් වන සේක; සියලු ජාතීන්ට ඉහළින් වැජඹෙන සේක.</verse>
				<verse number="3">අති උතුම් තෙද බලැති එතුමන්ගේ නාමය සියල්ලෝ පසසන්නෝ ය. එතුමාණෝ සුවිශුද්ධ වන සේක.</verse>
				<verse number="4">අති බලසම්පන්න රජාණන් වහන්ස, ඔබ යුක්තියට ප්‍රේම කරන සේක, ඔබ ඉශ්රායෙල්හි සාධාරණකම පිහිටෙවු සේක; ඔබ දැහැමිකම සහ යුක්තිය ඉටු කළ සේක.</verse>
				<verse number="5">අපේ දෙවි සමිඳුන් උසස් කොට පසසන්න; එතුමන්ගේ පාපුටුව ළඟ වැඳ වැටෙන්න; එතුමාණෝ සුවිශුද්ධ වන සේක.</verse>
				<verse number="6">එතුමන්ගේ පූජකවරුන් අතර මෝසෙස් ද ආරොන් ද වූ හ. එතුමන්ගේ නාමය අයැදි අය අතර සාමුවෙල් ද විය. ඔවුන් සමිඳුන් අයැදි විට එතුමාණෝ පිළිතුරු දුන් සේක.</verse>
				<verse number="7">
					වලා ටැඹෙන් එතුමාණෝ ඔවුන්ට කතා කළ සේක.
					එතුමන් ඔවුන්ට දුන් අණපණත් ද නීති ද ඔව්හු ඉටු කළෝ ය.
				</verse>
				<verse number="8">අපේ දෙවි සමිඳුනි, ඔබ ම ඔවුන්ට පිළිතුරු දෙන සේක. ඔබ ඔවුන්ට දැඩි ලෙස දඬුවම් දුන් නමුත්, කමා කරන දෙවිඳුන් ඔබ බව ඔවුන්ට පෙන්වූ සේක.</verse>
				<verse number="9">අපේ දෙවි සමිඳුන් පසසන්න, එතුමන්ගේ ශුද්ධ කන්ද ළඟ වැඳ වැටෙන්න. අපේ දෙවි සමිඳාණෝ සුවිශුද්ධ ය.</verse>
			</chapter>
			<chapter number="100">
				<verse number="1">මුළු පොළෝ වැසියෙනි, සමිඳුන් හට ප්‍රීති ඝෝෂා පවත්වන්න.</verse>
				<verse number="2">සමිඳුන් හට ප්‍රීතියෙන් වැඳ පුදා, ප්‍රීති ගී ගයමින් එතුමන් ඉදිරියට පැමිණෙන්න.</verse>
				<verse number="3">සමිඳාණන් දෙවිඳුන් බව දැනගන්න. අප මැව්වේ එතුමාණෝ ය; අපි එතුමන්ගේ ය, එතුමන්ගේ සෙනඟ ය. එතුමන්ගේ තණ බිම්වල බැටළුවෝ ය.</verse>
				<verse number="4">තුති පුදා, එතුමන්ගේ වාසල් දොරටුවලට ද තුති ගී ගය ගයා, එතුමන්ගේ මන්දිරවලට ද ඇතුළු වන්න.</verse>
				<verse number="5">
					මන්ද, සමිඳාණෝ යහපත් ය;
					එතුමන්ගේ ප්‍රේමය ස්ථිර ය; සදහට ම පවත්නේ ය. පරපුරෙන් පරපුරට එතුමන්ගේ විශ්වාසවන්තකම පවත්නේ ය.
				</verse>
			</chapter>
			<chapter number="101">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. කරුණාව හා යුක්තිය ගැන මම ගී ගයන්නෙමි; සමිඳුනි, ඔබ හට පැසසුම් ගී ගයන්නෙමි.</verse>
				<verse number="2">නිදොස් මඟෙහි සිහි නුවණින් ගමන් කරන්නෙමි. ඔබ කවදා මා වෙත වඩින සේක් ද? පිරිසිදු සිතින් මාගේ නිවෙසහි මම වාසය කරන්නෙමි.</verse>
				<verse number="3">මාගේ ඇස් කිසි නීච දෙයක් කෙරෙහි නොරඳවන්නෙමි. දෙවිඳුන් කෙරෙන් ඈත් වන්නන්ගේ ක්‍රියා මම නුරුස්සන්නෙමි. ඒවාට මම ඇලුම් නොවන්නෙමි.</verse>
				<verse number="4">සියලු වංක සිතුවිලි මම ප්‍රතික්ෂේප කරන්නෙමි; නපුරට මම කිසි විටෙක හවුල් නොවන්නෙමි.</verse>
				<verse number="5">සිය අසල්වැසියාට විරුද්ධ ව රහසින් අපවාද දොඩන්නා මම වනසන්නෙමි; උඩඟු බැල්ම හා අහංකාර සිත ඇත්තා මම නුරුස්සන්නෙමි.</verse>
				<verse number="6">මා සමඟ වසන පිණිස මම දේශයෙහි සැදැහැවතුන් තෝරාගතිමි. නිදොස් ලෙස දිවි ගෙවන්නෝ මාගේ සේවකයෝ වන්නෝ ය.</verse>
				<verse number="7">වංචනික කිසිවෙක් මාගේ නිවෙසෙහි නොවසන්නේ ය. මුසාවාදී කිසිවෙක් මා ඉදිරියෙහි නොසිටින්නේ ය.</verse>
				<verse number="8">දිනෙන් දින දේශයේ සියලු දුදනන් මම වනසන්නෙමි. අයුතුකම් කරන සියල්ලන් මම සමිඳුන්ගේ නුවරින් නෙරපාදමන්නෙමි.</verse>
			</chapter>
			<chapter number="102">
				<verse number="1">තද විපතින් ක්ලාන්ත භාවයට පත් ව තමාගේ දුක්ගැනවිලි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි වැගිරෙව් කෙනෙකුගේ යැදුමකි. සමිඳුනි, මාගේ යැදුම ඇසුව මැනව. මාගේ මොරගැසීම ඔබ වෙත පැමිණේ වා!</verse>
				<verse number="2">මාගේ විපත්ති සමයේ දී ඔබේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව; යැදුම් පුදන විට මට සවන් දී නොපමා ව පිළිතුරු දුන මැනව.</verse>
				<verse number="3">මන්ද, මාගේ දවස් දුම් මෙන් පහ වී යයි, මාගේ ඇටකටු ගිනි උදුනක් මෙන් දැවෙයි.</verse>
				<verse number="4">මාගේ සිත තණ කොළ මෙන් තැළී වියළී ඇත. ආහාර ගැනීමට වත් මට රුචියක් නැත.</verse>
				<verse number="5">මම මහා හඬින් සුසුම්ලමින් සිටිමි. මාගේ ඇටකටු හමට ම ඇළී ඇත.</verse>
				<verse number="6">මම මරු කතරේ වසන කරවැල් කොකෙකුට සමාන වෙමි; මම පාළු තැන්හි වසන බකමූණෙකු මෙන් වෙමි.</verse>
				<verse number="7">මම නොනිදා සිටිමි; වහල උඩ තනි ව වැලපෙන කුරුල්ලෙකුට සමාන වෙමි.</verse>
				<verse number="8">දවස මුළුල්ලේ මාගේ සතුරෝ මට නින්දා කරති; මට අපහාස කරන්නෝ සාප කිරීමට මාගේ නාමය යොදා ගනිති.</verse>
				<verse number="9">මාගේ කෑම අළු ය; මාගේ බීම කඳුළින් මුසු ය.</verse>
				<verse number="10">එසේ වී ඇත්තේ, ඔබේ කෝපය හා උදහස නිසා ය; ඔබ මා උසස් කොට පහතට හෙළා ඇති නිසා ය.</verse>
				<verse number="11">මාගේ ජීවිත කාලය සැඳෑ සෙවණැලි වැනි ය, මම තණ පත් මෙන් වියළී සිටිමි.</verse>
				<verse number="12">එහෙත් සමිඳුනි, ඔබ සදහට සිහසුන් අරා වැඩ සිටින සේක; හැම පරපුරක් ම ඔබ සිහි කරනු ඇත.</verse>
				<verse number="13">ඔබ පිබිද සියොන්ට කරුණා කරන සේක. ඊට අනුකම්පා කළ යුතු කාලය දැන් ය; නියම කාලය පැමිණ තිබේ.</verse>
				<verse number="14">සියොන්හි ගල්වලට සේවකයෝ ප්‍රිය කරන්නෝ ය. ඔව්හු එහි දූවිල්ලට පවා අනුකම්පා කරන්නෝ ය.</verse>
				<verse number="15">එහෙයින් විජාතීහු සමිඳුන්ගේ නාමයටත් බිය වන්නෝ ය; පොළොවේ සියලු රජවරු ඔබේ මහිමයට බිය වන්නෝ ය.</verse>
				<verse number="16">සමිඳාණෝ සියොන් යළි ගොඩනඟන සේක; සිය මහිමාලංකාරයෙන් ප්‍රකාශ වන සේක.</verse>
				<verse number="17">එතුමාණෝ අසරණයන්ගේ යැදුමට සවන් දෙන සේක; ඔවුන්ගේ යැදුම හෙළා නොදකින සේක.</verse>
				<verse number="18">මේ තාක් නූපන් අය ඔබට පැසසුම් කරන පිණිස, මතු එන පරම්පරාව උදෙසා මෙය සටහන් කරනු ලැබේ වා!</verse>
				<verse number="19">සමිඳාණෝ සිය ශුද්ධස්ථානයේ සිට පහත බැලූ සේක; එතුමාණෝ ස්වර්ගයේ සිට පොළොව දෙස බැලූ සේක.</verse>
				<verse number="20">එසේ කෙළේ, සිරකරුවන්ගේ දුක් සුසුම් අසන්න ය; මරණයට නියම වූවන් මුදන්න ය.</verse>
				<verse number="21">ජනයෝ සියොන්හි දී සමිඳුන්ගේ නාමයත් ජෙරුසලමේ දී එතුමන්ගේ ප්‍රශංසාවත් පළ කරන්නෝ ය.</verse>
				<verse number="22">රාජ්‍යයෝ ද මිනිස් සංහතිය ද සමිඳුන්ට මෙහෙ කිරීමට එක් රැස් වන සෑම විට එසේ කරන්නෝ ය.</verse>
				<verse number="23">එතුමාණෝ තරුණ වියේ දී මාගේ ශක්තිය හීන කළ සේක; මාගේ ජීවිත කාලය කෙටි කළ සේක.</verse>
				<verse number="24">මම ද කතා කොට මෙසේ කීවෙමි: “අහෝ මාගේ දෙවිඳුනි! මා වයස්ගත වන්න පෙර මා පහ නොකළ මැනව. සමිඳුනි, ඔබ සදහට ම ජීවත් වන සේක.”</verse>
				<verse number="25">
					ආදියේ දී ඔබ පොළොවේ පදනම ලූ සේක.
					අහස් ගැබ ඔබේ දෑතින් සාදන ලද්දේ ය.
				</verse>
				<verse number="26">ඒවා විනාශ වන්නේ ය; එහෙත්, ඔබ ජීවත් වන සේක. එසේ ය, ඒ සියල්ල වස්ත්‍රයක් මෙන් පැරණි වන්නේ ය. උතුරු සළුවක් මෙන් ඔබ ඒවා මාරු කරන සේක. ඒවා ද පහ වී යන්නේ ය.</verse>
				<verse number="27">එහෙත්, ඔබ ඒකාකාර ම ය, ඔබේ ජීවිතය නිම නොවන්නේ ය.</verse>
				<verse number="28">ඔබේ මෙහෙකරුවන්ගේ දරුවෝ සුරැකි ව සිටින්නෝ ය. ඔවුන්ගේ පරපුර ද ඔබ ඉදිරියෙහි පිහිටුවනු ලබන්නේ ය.</verse>
			</chapter>
			<chapter number="103">
				<verse number="1">මාගේ සිත, සමිඳුන් පසසන්න; හද පත්ලෙන් ම එතුමන්ගේ ශුද්ධ නම පසසන්න.</verse>
				<verse number="2">මාගේ සිත, සමිඳුන් පසසන්න; එතුමන්ගේ සියලු උපකාර අමතක නොකරන්න.</verse>
				<verse number="3">එතුමාණෝ මාගේ සියලු පාප කමා කරන සේක; මාගේ සියලු රෝග සුව කරන සේක.</verse>
				<verse number="4">මාගේ ජීවිතය පාතාල ලෝකයෙන් මුදාලන සේක; ප්‍රේමය හා දයාව නමැති කිරුළෙන් මා සරසන සේක.</verse>
				<verse number="5">රාජාලියෙකුගේ මෙන් මාගේ යොවුන් බව අලුත් කරන පිණිස, දිවි ඇති තාක් මා යහපත් දෙයින් තෘප්තියට පමුණුවන සේක.</verse>
				<verse number="6">සමිඳාණෝ සාධාරණ ලෙස ක්‍රියා කරන සේක. පීඩිතයන්ට එතුමාණෝ යුක්තිය ඉටු කරන සේක.</verse>
				<verse number="7">සමිඳාණෝ ස්වකීය මාර්ග මෝසෙස්ටත්, තම බලවත් ක්‍රියා ඉශ්රායෙල් සෙනඟටත් දැක් වූ සේක.</verse>
				<verse number="8">
					සමිඳාණෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණ ය;
					නොකිපෙන සුලු ය, අතිශයින් කරුණාවන්ත ය.
				</verse>
				<verse number="9">එතුමාණෝ නිතර තරවටු නොකරන සේක; සදහට ම සිතෙහි කෝපය තබා නොගන්න සේක.</verse>
				<verse number="10">එතුමාණෝ අපේ පාපවලට සරිලන ලෙස අපට දඬුවම් නොදෙන සේක; අපේ අයුතුකම්වලට සැසඳෙන ලෙස ප්‍රතිවිපාක නොදෙන සේක.</verse>
				<verse number="11">මන්ද, පොළොවට ඉහළින් අහස උස් ව තිබෙන්නාක් මෙන් එතුමාණන් කෙරෙහි ගරුබිය පාන අයට එතුමාණන්ගේ කරුණාව මහත් ය.</verse>
				<verse number="12">නැගෙනහිරෙන් බටහිර ඈත් ව තිබෙන්නාක් මෙන් එතුමාණෝ අපේ පාප අපෙන් දුරු කරන සේක.</verse>
				<verse number="13">පියෙකු දරුවන්ට අනුකම්පා කරන සේ සමිඳාණෝ, තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට අනුකම්පා කරන සේක.</verse>
				<verse number="14">මන්ද, එතුමාණෝ අපේ ස්වරූපය දන්න සේක; අප ධූලි බව සිහි කරන සේක.</verse>
				<verse number="15">මිනිසාගේ ජීවිත කාලය තණ පත් වැනි ය, ඔහු කෙතේ කුසුමක් මෙන් සරු ලෙස වැඩේ;</verse>
				<verse number="16">එහෙත්, සුළං පහර වැදී එය නැති වී යයි; එය තිබුණ තැන වත් දක්නට නොලැබේ.</verse>
				<verse number="17">සමිඳුන්ගේ තිර පෙම, තමන්ට ගරුබිය පාන අය කෙරෙහි සදාකාලයෙන් සදාකාලයට වේ.</verse>
				<verse number="18">එතුමන්ගේ ගිවිසුම රක්ෂා කරන්නන්ටත්, එතුමන්ගේ ශික්ෂාවන් ඉටු කිරීමට ඒවා මෙනෙහි කරන්නන්ටත්, එතුමන්ගේ දමිටුකම පරපුරෙන් පරපුරට පවත්නේ ය.</verse>
				<verse number="19">සමිඳාණෝ සිය සිහසුන සගලොවෙහි පිහිටෙවු සේක. එතුමන්ගේ රාජ්‍යය ද සියල්ලන් කෙරෙහි බල පවත්වයි.</verse>
				<verse number="20">සමිඳුන්ගේ අණ පිළිපදින, එතුමන්ගේ වචනයට සවන් දෙන, එතුමන්ගේ බලවන්ත දූතයෙනි, එතුමන් පසසන්න.</verse>
				<verse number="21">සමිඳුන්ගේ සේනා සියල්ලෙනි, එතුමන්ගේ කැමැත්ත ඉටු කරන මෙහෙකරුවෙනි, සමිඳුන් පසසන්න.</verse>
				<verse number="22">සකල මැවිල්ලෙනි, සමිඳුන් සිහසුන පවතින සැම තැන එතුමන් පසසන්න. මාගේ සිත, සමිඳුන් පසසන්න.</verse>
			</chapter>
			<chapter number="104">
				<verse number="1">මාගේ සිත, සමිඳුන් පසසන්න. මාගේ දෙවි සමිඳුනි, ඔබ ඉතා උතුම් ය, ඔබ තෙද මහිමයෙන් සැරසී සිටින සේක.</verse>
				<verse number="2">ඔබ ආලෝකය නමැති වස්ත්‍රය හැඳ පැළඳ සිටින සේක; වියනක් මෙන් අහස විහිදාලන සේක.</verse>
				<verse number="3">ඔබේ මාලිගාව ඉහළ දිය කඳ මත පිහිටුවන සේක; වලාකුළු ඔබේ රිය කරගන්න සේක.</verse>
				<verse number="4">
					සුළඟ ඔබේ දූතයන් ද ගිනි දලු ඔබේ සේවකයන් ද කරගන්න සේක.
				</verse>
				<verse number="5">පොළොව කිසි කලෙක නොසැලෙන ලෙස එය තිර පදනමක් මත පිහිටෙවූ සේක.</verse>
				<verse number="6">උතුරු සළුවකින් මෙන් මහා සයුරෙන් ඔබ එය වැසූ සේක; ජලයෙන් කඳු හෙල් වැසී ගියේ ය.</verse>
				<verse number="7">ඔබේ තරවටුවෙන් ජලය පලා ගියේ ය; ඔබේ තර්ජනයෙන් එය යුහුව ගලා ගියේ ය.</verse>
				<verse number="8">ජලය කඳු උඩින් ගලා ගියේ ය. ඔබ සූදානම් කළ ස්ථානය වන මිටියාවතට එය බැස ගියේ ය.</verse>
				<verse number="9">ජලයෙන් පොළොව යළිත් වැසී නොයන පිණිස ඉක්මවා ගිය නොහැකි සීමාවක් ඔබ එයට නියම කළ සේක.</verse>
				<verse number="10">සමිඳාණෝ මිටියාවත්වල උල්පත් හටගන්වන සේක. ඒවා කඳු අතරේ ගලා යයි.</verse>
				<verse number="11">ඒවා සියලු වන සතුන්ට බීමට දිය දෙයි; වල් කොටළුවෝ එයින් පිපාසා සංසිඳුවා ගනිති.</verse>
				<verse number="12">ඒවා අසල, අහසේ පක්ෂීහු කැදලි සාදති; අතු අතරේ ගී නද දෙති.</verse>
				<verse number="13">එතුමාණෝ අහස් තලයෙන් කඳුකරයට වැසි වස්වන සේක. එතුමන්ගේ ආසිරිවලින් පොළොව සාරවත් වන්නේ ය,</verse>
				<verse number="14">එතුමාණෝ, සිවුපාවුන්ට තණ කොළත්, මිනිසුන්ගේ ප්‍රයෝජනයට ගස් කොළත් පොළොවේ වැඩෙන්නට සලසන සේක. මිනිසාට ආහාර නිපදවන සේක.</verse>
				<verse number="15">තවද, ඔබ මිනිසාගේ හද සතුටු කරන මිදියුස ද වත පැහැපත් කරන තෙල ද ගත සවිමත් කරන අහර ද සපයන සේක.</verse>
				<verse number="16">සමිඳුන් ම පැළ කරවූ ලෙබනොන්හි කිහිරි ගස්, සමිඳුන්ගේ ම ඒ ගස් බොහෝ වතුර ලබයි.</verse>
				<verse number="17">කුරුල්ලෝ ඒ ගස්වල කූඩු සාදාගනිති. මාන කොක්කු දේවදාර ගස් මුදුන්හි කැදලි තනාගනිති.</verse>
				<verse number="18">වල් එළුවන්ගේ වාසය උස් කඳුවල වේ. සාවුන්ගේ රැකවරණය පර්වත වේ.</verse>
				<verse number="19">මාස වෙන් කර දක්වන පිණිස එතුමාණෝ සඳ සෑදූ සේක; බැස යා යුතු වේලාව හිරු දනියි.</verse>
				<verse number="20">ඔබ අඳුර පමුණුවන සේක; එවිට රැය වේ. එකල සියලු වන මෘගයෝ බැහැරට එති.</verse>
				<verse number="21">සිංහ පොව්වෝ ගොදුරට සිහ නද කරති. උන් දෙවිඳුන්ගෙන් ගොදුරු ඉල්ලති.</verse>
				<verse number="22">හිරු උදා වන කල ඒ සත්තු ආපසු යති; ගුහාවලට වැද ලැගුම් ගනිති.</verse>
				<verse number="23">එහෙත් මිනිසා, සවස දක්වා වැඩ කරන පිණිස නික්ම යයි.</verse>
				<verse number="24">සමිඳුනි, ඔබේ කර්මාන්ත කොපමණ විවිධාකාර ද? ඔබ සියල්ල ප්‍රඥාවෙන් මැවූ සේක. පොළොව ඔබ මැවූ සතුන්ගෙන් පිරී ඇත;</verse>
				<verse number="25">අර තිබෙන්නේ සුවිසල් සාගරය! එහි ලොකු කුඩා සත්ත්වයෝ ගණන ඉක්මවා සැරිසරති.</verse>
				<verse number="26">
					එහි ඔබමොබ නැව් යාත්‍රා කරයි;
					ඔබ මැවූ ලෙවියාතන් නම් මුහුදු සර්පයා එහි ක්‍රීඩා කරයි.
				</verse>
				<verse number="27">උන්ගේ කෑම නියම කලට ලබන පිණිස උන් සියලු දෙන ඔබ දෙස බලා සිටිති.</verse>
				<verse number="28">ඔබ උන්ට දෙන දේ උන් එකතු කර ගනිති. ඔබේ අත විදහන විට උන් කුසගින්න නිවාගනිති.</verse>
				<verse number="29">ඔබේ මුහුණ ඔබ සඟවන කල උන් කැළඹෙති. ඔබ උන්ගේ හුස්ම පැහැරගන්න කල උන් නැසී, දූවිලි බවට හැරී යති.</verse>
				<verse number="30">එහෙත්, ඔබ උන්ට හුස්ම දෙන කල උන් යළිත් මවනු ලබති. ඔබ පොළෝ තලයට නව දිවියක් දෙන සේක.</verse>
				<verse number="31">සමිඳුන්ගේ මහිමය සදහට ම පවතී වා! සමිඳාණෝ තමන් මැවූ සියල්ල ගැන සතුටු වෙත් වා!</verse>
				<verse number="32">එතුමාණන් පොළොව දෙස බලන කල එය කම්පා වේ; කඳු ස්පර්ශ කරන කල ඒවායින් දුම් නඟියි.</verse>
				<verse number="33">මම දිවි ඇති තාක් සමිඳුන්ට ගී ගයන්නෙමි; පණ ඇති තාක් දෙවිඳුන්ට පසස් ගී ගයන්නෙමි.</verse>
				<verse number="34">මාගේ භාවනාව සමිඳුන්ට ප්‍රසන්න වේ වා! මන්ද, මගේ ප්‍රීතිය එන්නේ එතුමන්ගෙන් ය.</verse>
				<verse number="35">පව්කාරයෝ පොළෝ තලයෙන් විනාශ වී යත් වා! දුෂ්ටයෝ තවත් ජීවත් නොවෙත් වා! මාගේ සිත සමිඳුන්ට ප්‍රශංසා කරා වා! සමිඳුන්ට ප්‍රශංසා වේ වා!</verse>
			</chapter>
			<chapter number="105">
				<verse number="1">සමිඳුන්ට තුති පුදන්න, එතුමන්ගේ නාමයෙන් අයැදින්න, ජාතීන් අතරේ එතුමන්ගේ ක්‍රියා පළ කරන්න.</verse>
				<verse number="2">එතුමන්ට ගී ගයන්න; එතුමන්ට පසස් ගී ගයන්න; එතුමන්ගේ පුදුම ක්‍රියා මෙනෙහි කරන්න.</verse>
				<verse number="3">එතුමන්ගේ ශුද්ධ නාමය ගැන උදන් අනන්න; සමිඳාණන් සොයන්නන්ගේ සිත් ප්‍රීති ප්‍රමුදිත වේ වා!</verse>
				<verse number="4">සමිඳාණන් ද එතුමන්ගේ බලය ද සොයා බලන්න; එතුමාණන් හමුව නිතර ම සොයන්න.</verse>
				<verse number="5">එතුමන්ගේ මෙහෙකරුන් වූ ඉශ්රායෙල් වංශයෙනි, එතුමන් තෝරාගත් ජාකොබ්ගේ දරුවෙනි, එතුමන් කළ පුදුම ක්‍රියා ද එතුමන්ගේ ආශ්චර්යයන් ද එතුමන් දුන් විනිශ්චයයන් ද සිහි කරන්න.</verse>
				<verse number="6">***</verse>
				<verse number="7">එතුමාණෝ අපේ දෙවි සමිඳාණෝ ය. එතුමන්ගේ විනිසය මුළු පොළොවෙහි ය.</verse>
				<verse number="8">එතුමන් පරම්පරා දහසක් දක්වා අණ කළ සිය ගිවිසුම සදහට ම සිහි කරන සේක.</verse>
				<verse number="9">
					ඒ ගිවිසුම එතුමාණෝ ආබ්‍රහම් සමඟ කළ සේක.
					ඊසාක්ට ද දිවුරුම් දුන් සේක.
				</verse>
				<verse number="10">
					එය, එතුමාණෝ ජාකොබ්ට පණතක් ද ඉශ්රායෙල්ට සදාකාල ගිවිසුමක් ද කොට ස්ථිර කරමින්,
				</verse>
				<verse number="11">“නුඹලාගේ උරුමය වශයෙන් කානාන් දේශය නුඹලාට දෙන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="12">ඔව්හු ගණනින් ස්වල්ප දෙනෙකු වී, ඉතා ස්වල්ප දෙනෙකු වී එහි ආගන්තුකයන් වී සිටියෝ ය.</verse>
				<verse number="13">ඔව්හු ජාතියකින් ජාතියකට ද රාජ්‍යයකින් රාජ්‍යයකට ද සැරිසරමින් ගියෝ ය.</verse>
				<verse number="14">
					එකල්හි, ඔවුන්ට තාඩන පීඩන කරන්න එතුමාණෝ කිසිවෙකුට ඉඩ නුදුන් සේක.
					එසේ ය, එතුමාණෝ රජුන්ට පවා තරවටු කොට,
				</verse>
				<verse number="15">“මාගේ අබිසෙස් ලත් අයට අත නොගසන්න. මාගේ දිවැසිවරුන්ට, අනතුරු නොකරන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="16">
					සමිඳාණෝ දේශයට සාගතයක් පැමිණෙවූ සේක;
					කෑම අහේනියක් ඇති කරවූ සේක.
				</verse>
				<verse number="17">
					එහෙත්, එතුමාණෝ ඔවුන්ට පෙරටු ව මිනිසෙකු යැවූ සේක.
					එනම්, වහල්කමට විකුණන ලද ජෝසෙප් ය.
				</verse>
				<verse number="18">
					ඔහුගේ පාදවලට විලංගු දමන ලදී;
					ගෙල වටා යකඩ වළල්ලක් දමන ලදී.
				</verse>
				<verse number="19">ඔහු කී අනාගත කීම ඉටු වන තුරු සමිඳුන්ගේ අතින් ඔහු පරීක්ෂා කරන ලදී.</verse>
				<verse number="20">
					එවිට මිසරයේ රජ ඔහු මුදා හරින්නට අණ කෙළේ ය.
					ජාතීන්ගේ පාලකයා ඔහු නිදහස් කෙළේ ය.
				</verse>
				<verse number="21">
					රජතුමා රාජකාරිය ඔහුට භාර දුන්නේ ය.
					මුළු දේශයේ ආණ්ඩුකාරයා ලෙස ඔහු පත් කෙළේ ය.
				</verse>
				<verse number="22">රජතුමා නිලධාරීන්ට නිදහසේ උවදෙස් දීම ඔහුට පැවැරී ය. මන්ත්‍රීවරුන්ට අනුශාසනා දීමේ අවසර ඔහුට ලැබුණේ ය.</verse>
				<verse number="23">
					ඉන්පසු ජාකොබ් මිසරයට ගියේ ය.
					ඔහු ඒ රටේ පදිංචි විය.
				</verse>
				<verse number="24">
					සමිඳාණෝ ඔහුගේ සෙනඟට බොහෝ දරුවන් දුන් සේක;
					ඔවුන්ගේ සතුරන්ට වඩා ඔවුන් බලවත් කළ සේක.
				</verse>
				<verse number="25">ඔහුගේ සෙනඟට ද්වේෂ කරන්නත්, ඔහුගේ සේවකයන් වංචාවෙන් රවටන්නත් සමිඳාණෝ මිසර වැසියන් පෙළඹවූ සේක.</verse>
				<verse number="26">
					එවිට සිය සේවක මෝසෙස් ද තමන් තෝරාගත් ආරොන් ද සමිඳාණෝ යැවූ සේක.
				</verse>
				<verse number="27">ඔව්හු දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා කළෝ ය; මිසරයේ අසිරිමත් ක්‍රියා කළෝ ය.</verse>
				<verse number="28">
					සමිඳාණෝ දේශයට අන්ධකාරය එවා එය අඳුරු කළ සේක.
					එහෙත්, මිසර වැසියෝ එතුමන්ගේ අණට කීකරු නො වූ හ.
				</verse>
				<verse number="29">
					එතුමාණෝ ඔවුන්ගේ ගංගා ලේ බවට හැරෙවු සේක;
					එහි විසූ සියලු මසුන් මැරූ සේක.
				</verse>
				<verse number="30">
					ඔවුන්ගේ දේශය මැඩියන්ගෙන් වැසී ගියේ ය;
					රජ මැදුර පවා උන්ගෙන් පිරී ගියේ ය.
				</verse>
				<verse number="31">
					එතුමන් අණ කළ විට මුළු දේශය මැස්සන්ගෙන් හා කිනිතුල්ලන්ගෙන් පිරී ගියේ ය.
				</verse>
				<verse number="32">
					එතුමාණෝ වැසි වෙනුවට ගල් වැසි ද විදුලි කෙටීම් ද ඔවුන්ගේ දේශයට එවූ සේක.
				</verse>
				<verse number="33">එතුමාණෝ ඔවුන්ගේ මිදිවැල් හා අත්තික්කා ගස්වලට පහර දී ඔවුන්ගේ දේශ සීමා තුළ සියලු ගස් බිඳ හෙළූ සේක.</verse>
				<verse number="34">
					එතුමාණන් අණ කළ විට පළඟැටියෝ ද අසංබ්‍ය ගණන් දළඹුවෝ ද ආවෝ ය.
				</verse>
				<verse number="35">උන් ඔවුන්ගේ දේශයෙහි සියලු පලා ජාති කෑහ; ඔවුන්ගේ කෙත්හි ගොයම් කාදැමූ හ.</verse>
				<verse number="36">
					එතුමාණෝ ඔවුන්ගේ පුරුෂ ශක්තියේ නිධානයන් වූ ප්‍රථම ඵලයන් වූ මිසර දේශයේ සියලු කුලුඳුලන් මරාදැමූ සේක.
				</verse>
				<verse number="37">
					එවිට, එතුමාණෝ ඉශ්රායෙල් සෙනඟ තමන්ගේ රන් රිදී සමඟ පිටතට ගෙනා සේක.
					ඔවුන්ගේ ගෝත්‍ර අතර එක දුබලයෙක් වත් නො වී ය.
				</verse>
				<verse number="38">ඔවුන් පිටත් ව ගිය කල මිසර වැසියෝ සතුටු වූ හ. මන්ද, ඔව්හු ඉශ්රායෙල් සෙනඟට බියෙන් සිටියහ.</verse>
				<verse number="39">
					සමිඳාණෝ සිය සෙනඟට ආවරණයක් ලෙස වලාකුළක් විහිදා හැරිය සේක.
					රෑ කාලයේ එළිය දෙන පිණිස ගින්නක් ද දුන් සේක.
				</verse>
				<verse number="40">
					ඔවුන් ඉල්ලූ කල එතුමාණෝ වටුවන් එවූ සේක.
					එතුමාණෝ ඔවුන්ට සුරලොවින් බහුල ව අහර දුන් සේක.
				</verse>
				<verse number="41">
					එතුමාණෝ පර්වතය විවර කළ සේක;
					එවිට ජලය වේගයෙන් පැන නැංගේ ය. ගංගාවක් මෙන් මරුකතර මැදින් ජලය ගලා ගියේ ය.
				</verse>
				<verse number="42">එතුමාණෝ සිය මෙහෙකරු ආබ්‍රහම් ද ඔහුට දුන් ශුද්ධ ගිවිසුම ද සිහි කළ සේක.</verse>
				<verse number="43">මෙසේ එතුමාණෝ සිය සෙනඟ පිටත ගෙන ගිය සේක. ඔව්හු ප්‍රීති ප්‍රමෝදයෙන් හඬ නඟා ගී ගැයූ හ.</verse>
				<verse number="44">
					එතුමාණෝ විජාතීන්ගේ දේශයන් ඔවුන්ට දුන් සේක;
					විජාතීන්ගේ කෙත් වතුවල අස්වැන්න ගන්නට ඔවුන්ට ඉඩ දුන් සේක.
				</verse>
				<verse number="45">එසේ කෙළේ, ඔවුන් එතුමන්ගේ අණපණත් රක්ෂා කරන පිණිස ය, එතුමන්ගේ නීති නියෝග පවත්වන පිණිස ය. සමිඳුන්ට ප්‍රශංසා වේ වා!</verse>
			</chapter>
			<chapter number="106">
				<verse number="1">සමිඳුන් පසසන්න; සමිඳුන්ට තුති පුදන්න; මන්ද, එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ තිර පෙම සදහට ම පවතින්නේ ය.</verse>
				<verse number="2">සමිඳුන්ගේ ප්‍රබල ක්‍රියා කියන්නත්, එතුමන්ගේ සියලු පැසසුම් ගයන්නත් පුළුවන් කවරෙකුට ද?</verse>
				<verse number="3">යුක්තිය රක්නා අය ද හැම කල්හි දමිටුකම් කරන අය ද භාග්‍යවන්තයෝ ය.</verse>
				<verse number="4">සමිඳුනි, ඔබේ සෙනඟට කරුණාව දක්වන විට මා සිහි කළ මැනව; ඔවුන් ගළවන විට මට උපකාර කළ මැනව.</verse>
				<verse number="5">ඔබේ තෝරාගත් සෙනඟගේ ශුභසිද්ධිය දකින්නත්, ඔබට අයිති අය සමඟ ජය ගී ගයන්නත්, ඔබේ උරුමයෙන් මහිමය ලබන්නත් මට ඉඩ දුන මැනව.</verse>
				<verse number="6">
					අපි අපේ පියවරුන් මෙන් පව් කෙළෙමු;
					නපුරුකම් කෙළෙමු; දුෂ්ට ලෙස ක්‍රියා කෙළෙමු.
				</verse>
				<verse number="7">අපේ පියවරු මිසරයේ දී ඔබේ පුදුම ක්‍රියා තේරුම් නොගත්තෝ ය. ඔබේ අසීමිත ප්‍රේමය සිහි නොකළෝ ය. රතු මුහුද ළඟ දී මහෝත්තමයාණන්ට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය.</verse>
				<verse number="8">එසේ වුව ද එතුමාණෝ සිය බල විකුම් දක්වන පිණිස තම නාමයේ අනුහසින් ඔවුන් ගැළවූ සේක.</verse>
				<verse number="9">
					එතුමාණෝ රතු මුහුදට තරවටු කළ සේක;
					එය වියළුණේ ය. වැලිකතරක් මැදින් මෙන් මුහුද මැදින් ඔවුන් ගෙන ගිය සේක.
				</verse>
				<verse number="10">ඔවුන්ට වෛර වූ අයගේ අතින් ඔවුන් ගැළවූ සේක; සතුරන් අතින් ඔවුන් මිදූ සේක.</verse>
				<verse number="11">ජල කඳ ඔවුන්ගේ විරුද්ධකාරයන් වසාගත්තේ ය; එක් කෙනෙක් වත් ඉතිරි නො වී ය.</verse>
				<verse number="12">
					එවිට, ඔව්හු එතුමන්ගේ පොරොන්දු විශ්වාස කළෝ ය;
					එතුමන් හට පැසසුම් ගී ගැයූ හ.
				</verse>
				<verse number="13">එහෙත්, ඔව්හු එතුමන්ගේ ක්‍රියා වහා අමතක කළෝ ය; එතුමන්ගේ අවවාද නොතකා ක්‍රියා කළෝ ය.</verse>
				<verse number="14">
					ඔව්හු පාළුකරයේ දී අධික ලෙස තෘෂ්ණාවෙන් පිරී දෙවිඳුන්ට අභියෝග කළෝ ය.
				</verse>
				<verse number="15">ඒ නිසා ඔවුන් ඉල්ලූ දේ එතුමාණෝ ඔවුන්ට දුන් සේක: එහෙත්, ඔවුන් වනසන රෝගයක් ද එවූ සේක.</verse>
				<verse number="16">
					කඳවුරේ දී, ඔව්හු මෝසෙස්ටත්, සමිඳුන්ගේ ශුද්ධ තැනැත්තා වූ ආරොන්ටත් ඊර්ෂ්‍යා කළෝ ය.
				</verse>
				<verse number="17">එවිට පොළොව විවර වී දාතාන් ගිලගත්තා ය; අබිරාම් සහ ඔහුගේ සෙනඟ පසට යට කළා ය.</verse>
				<verse number="18">ඔවුන්ගේ කණ්ඩායම මැද ගින්නක් ඇවුළුණේ ය. ගිනිදැල් දුෂ්ටයන් දවාදැමී ය.</verse>
				<verse number="19">
					ඔව්හු හොරෙබ් කන්දෙහි වස්සෙකු සාදා වාත්තු රූපයකට නමස්කාර කළෝ ය.
				</verse>
				<verse number="20">මෙසේ ඔව්හු, දෙවිඳුන්ගේ මහිමය තණ බුදින ගවයෙකුගේ ස්වරූපයට වෙනස් කළෝ ය.</verse>
				<verse number="21">මිසරයේ දී බලවත් ක්‍රියා කර, ඔවුන් ගළවාගත් දෙවිඳුන් ඔව්හු අමතක කළෝ ය.</verse>
				<verse number="22">එතුමාණෝ, ඒ දේශයේ දී අරුමපුදුම ක්‍රියා ද රතු මුහුද ළඟ බියකරු ක්‍රියා ද කළ තැනැන් වහන්සේ නොවන සේක් ද?</verse>
				<verse number="23">එබැවින් එතුමාණෝ ඔවුන් විනාශ කරන බව වදාළ සේක. එහෙත්, එතුමාණන් ඔවුන් විනාශ නොකරන ලෙස, දේව උදහස පහකරන පිණිස, එතුමාණන් තෝරාගත් මෝසෙස් එතුමාණන් ඉදිරියේ මැදහත් වූයේ ය. දේව කෝපයෙන් ඔවුන් විනාශ කිරීම වැළැක්විය.</verse>
				<verse number="24">
					එවිට ඔව්හු සුන්දර දේශය හෙළා දැක්කෝ ය, මන්ද, එතුමන්ගේ පොරොන්දුව ඔව්හු විශ්වාස නොකළෝ ය.
				</verse>
				<verse number="25">ඔව්හු තමන්ගේ කූඩාරම්වල දී මැසිවිලි දෙඩුවෝ ය; සමිඳුන්ගේ හඬට සවන් නුදුන්නෝ ය.</verse>
				<verse number="26">
					එබැවින්, ඔවුන් පාළුකරයේ දී මරා දමන බවත්, ඔවුන්ගේ සෙනඟ විජාතීන් අතරේ මිය යාමට සලසන බවත්, දේශවල ඔවුන් විසුරුවා හරින බවත් වදාරා එතුමාණෝ අත ඔසවා දිවුළ සේක.
				</verse>
				<verse number="27">***</verse>
				<verse number="28">
					එවිට ඔව්හු පෙයොර්හි බාල් නමස්කාරයට රැස් වූවෝ ය;
					මළවුන්ට පිදූ දේ කෑවෝ ය.
				</verse>
				<verse number="29">මෙසේ ඔව්හු තමන්ගේ ක්‍රියාවලින් එතුමාණන් කුපිත කළහ. ඒ නිසා වසංගතයක් ඔවුන් අතරට පැමිණියේ ය.</verse>
				<verse number="30">එවිට, පිනෙහාස් නැඟිට ඔවුන් අතරෙන් වරදකරුවන්ට නිසි දඬුවම් දුන්නේ ය. මෙසේ වසංගතය නතර විය.</verse>
				<verse number="31">පරපුරෙන් පරපුරට සදහට ම ඔහුගේ දැහැමි ගුණයක් වශයෙන් මෙය සිහිකරනු ඇත.</verse>
				<verse number="32">
					සෙනඟ මෙරිබාහි දිය උල්පත ළඟදීත් එතුමාණන් කෝප කළහ.
					එබැවින් ඔවුන් නිසා මෝසෙස්ට දුක් කරදර ඇති විය.
				</verse>
				<verse number="33">එසේ වූයේ, ඔවුන් ඔහුගේ සිත අතිශයෙන් රිදවූ නිසා, ඔහු සිය මුවින් අනුවණ ලෙස කතා කළ බැවිනි.</verse>
				<verse number="34">
					සමිඳුන් ඔවුන්ට අණ කළ ලෙස ඔව්හු විජාතීන් විනාශ නොකළෝ ය.
				</verse>
				<verse number="35">ඔවුන් සමඟ මිශ්‍ර විවාහ කරගෙන විජාතීන්ගේ ක්‍රියා කරන්න ඔව්හු ඉගෙනගත්තෝ ය.</verse>
				<verse number="36">ඔව්හු ඔවුන්ගේ රූපවලට නමස්කාර කළෝ ය. ඒවා ඔවුන්ට මලපතක් විය.</verse>
				<verse number="37">
					ඔව්හු තමන්ගේ දරුදැරියන් යක්ෂයන්ට පූජා කළෝ ය.
				</verse>
				<verse number="38">
					ඔව්හු තම දූ පුතුන්ගේ නිදොස් ලේ වැගිරෙව්වෝ ය;
					ඒ දූ දරුවෝ කානානි රූපවලට යාගකරනු ලැබුවෝ ය; දේශය ද ඒ ලෙයින් දූෂණය විය.
				</verse>
				<verse number="39">මෙසේ ඔව්හු මෙවැනි ක්‍රියාවලින් අපිරිසිදු වූ හ. ඔව්හු දෙවිඳුන් හට විශ්වාසී ව නොසිට වෙසඟනන් මෙන් හැසුරුණෝ ය.</verse>
				<verse number="40">
					එබැවින් සමිඳුන්ගේ උදහස තමන් සෙනඟට විරුද්ධ ව ඇවුළුණේ ය.
					එතුමාණෝ තමන් උරුම කරගත් දේශය පිළිකුල් කළ සේක.
				</verse>
				<verse number="41">එතුමාණෝ විජාතීන් අතට ඔවුන් පාවා දුන් සේක. ඔවුන්ට වෛර කළ අය ඔවුන් පාලනය කළෝ ය.</verse>
				<verse number="42">ඔවුන්ගේ සතුරෝ ද ඔවුන්ට පීඩා කළෝ ය; ඔව්හු සතුරන්ගේ බලයට යටත් කරනු ලැබුවෝ ය.</verse>
				<verse number="43">එතුමාණෝ බොහෝ වර සිය සෙනඟ මිදූ සේක. එහෙත්, ඔව්හු ඉන් පසුත් අකීකරු ව කැරලි ගැසූ බැවින්, සිය අයුතුකම නිසා නින්දා කරනු ලැබුවෝ ය.</verse>
				<verse number="44">එසේ වී නමුත්, එතුමාණෝ ඔවුන්ගේ විලාපය ඇසූ සේක; ඔවුන්ගේ විපත්තිය සලකා බැලූ සේක.</verse>
				<verse number="45">ඔවුන් සමඟ කළ ගිවිසුම සිහි කළ සේක; තමන්ගේ මහා කරුණාව නිසා ඔවුන්ට අනුකම්පා කළ සේක.</verse>
				<verse number="46">ඔවුන් වහල්කමට ගෙන ගිය සියල්ලන්ගෙන් ඔවුන්ට අනුකම්පාව ලැබෙන්නට සැලැසූ සේක.</verse>
				<verse number="47">
					අපේ දෙවි සමිඳුනි, අප ගළවාගත මැනව;
					විජාතීන් අතරෙන් අප එක් රැස් කරගත මැනව. එවිට ඔබේ ශුද්ධ නාමයට තුති පුදන්නෙමු; ඔබ පසසමින් ප්‍රීති වන්නෙමු.
				</verse>
				<verse number="48">ඉශ්රායෙල් දෙවි සමිඳුන්ට සදාකාලයෙන් සදාකාලයට ම ප්‍රශංසා වේ වා! මුළු සෙනඟ ආමෙන් කියත් වා! සමිඳුන්ට ප්‍රශංසා කරන්න.</verse>
			</chapter>
			<chapter number="107">
				<verse number="1">සමිඳුන් හට තුති පුදන්න. එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.</verse>
				<verse number="2">සමිඳුන් විසින් මුදන ලද්දෝ ඒ වදන් යළි යළිත් කියත් වා! මන්ද, එතුමාණෝ පීඩාකරුගේ අතින් ඔවුන් මිදූ සේක.</verse>
				<verse number="3">එතුමාණෝ විදෙස් රටවලින් ද නැගෙනහිරෙන් හා බස්නාහිරෙන් ද උතුරෙන් හා දකුණෙන් ද ඔවුන් එක් රැස් කළ සේක.</verse>
				<verse number="4">සමහරු වල් බිහි වූ පාළුකරයේ වල්මත් වූ හ. විසීමට නගරයක් ඔවුන්ට සොයාගත නොහැකි විය.</verse>
				<verse number="5">සාගින්නෙන් හා පිපාසයෙන් පෙළී ඔව්හු ක්ලාන්තයෙන් බෙලහීන වූ හ.</verse>
				<verse number="6">එවිට, ඔව්හු තම විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ. එතුමාණෝ ඔවුන්ගේ විපතින් ඔවුන් මුදාගත් සේක.</verse>
				<verse number="7">වාසය කිරීමට සුදුසු නුවරකට පැමිණෙන තුරු එතුමාණෝ හරි මඟකින් ඔවුන් ගෙන ගිය සේක.</verse>
				<verse number="8">සමිඳුන්ගේ තිර පෙම ගැන ද මිනිසුන්ට කළ පුදුම දේ ගැන ද ඔව්හු එතුමන්ට පැසසුම් කරත් වා!</verse>
				<verse number="9">මන්ද, එතුමාණෝ පිපාසිත වූවන් තෘප්තියට පමුණුවන සේක; සාගිනි වූවන් යහපත් දෙයින් පිනවන සේක.</verse>
				<verse number="10">සමහරු තිත්ත කළුවරෙහි ලැගුම් ගත්හ; පීඩනයට භාජන වී සිරගත වූ හ.</verse>
				<verse number="11">මන්ද, ඔව්හු දෙවිඳුන්ගේ ආඥාවට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය; මහෝත්තමයාණන්ගේ උපදෙස් හෙළා දුටුවෝ ය.</verse>
				<verse number="12">බර වැඩ නිසා ඔව්හු අධික වෙහෙසට පත් වූ හ. ඔව්හු ඇද වැටුණෝ ය, පිහිට වන්න කිසිවෙක් නො වූ හ.</verse>
				<verse number="13">එවිට ඔව්හු තම විපතේ දී සමිඳුන්ට මොරගැසුවෝ ය. එතුමාණෝ ඔවුන්ට පැමිණි විපතින් ඔවුන් ගළවාගත් සේක.</verse>
				<verse number="14">එතුමාණෝ තිත්ත කළුවරින් ඔවුන් පිටතට ගෙන, ඔවුන්ගේ යදම් බිඳදැමූ සේක.</verse>
				<verse number="15">සමිඳුන්ගේ තිර පෙම ද මිනිසුන් හට කරන පුදුම ක්‍රියා ද ගැන මනුෂ්‍යයෝ එතුමන්ට තුති පුදත් වා!</verse>
				<verse number="16">මන්ද, එතුමාණෝ ලෝකඩ දොරටු බිඳදැමූ සේක; යකඩ පොලු කපාදැමූ සේක.</verse>
				<verse number="17">ඇතැම් අනුවණයෝ තමන්ගේ අපරාධ නිසාත්, අයුතුකම් නිසාත් පීඩා විඳිති.</verse>
				<verse number="18">ඔවුන්ට සියලු ආකාර කෑම අප්‍රිය වේ; ඔව්හු මරුමුවට ළං ව සිටියෝ ය.</verse>
				<verse number="19">එවිට ඔව්හු තමන්ගේ විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ. එතුමාණෝ ඔවුන්ගේ විපතින් ඔවුන් ගළවාගත් සේක.</verse>
				<verse number="20">එතුමාණෝ සිය වදනින් ඔවුන් සුවපත් කළ සේක. ඔවුන් මරණින් ගොඩගත් සේක.</verse>
				<verse number="21">සමිඳුන්ගේ තිර පෙම ද මිනිසුන් හට කරන පුදුම ක්‍රියා ද ගැන මනුෂ්‍යයෝ එතුමන්ට තුති පුදත් වා!</verse>
				<verse number="22">ඔව්හු තුති පූජා පුදත් වා! ප්‍රීති ගී ගයා එතුමන්ගේ ක්‍රියා ප්‍රකාශ කරත් වා!</verse>
				<verse number="23">සමහරු නැව්වලින් සමුදුර තරණය කරති; මෙලෙස සිය ජීවිකාව සඳහා වෙළෙඳාම් කරති.</verse>
				<verse number="24">ඔව්හු සමිඳුන්ගේ ක්‍රියා ද මුහුද මත එතුමන් කළ අරුමපුදුම දේ ද දකිති.</verse>
				<verse number="25">මන්ද, එතුමාණෝ අණ දෙමින් එහි රැළ නංවන චණ්ඩ මාරුතය හටගැන්වූ සේක.</verse>
				<verse number="26">නැව් අහස උඩට විසි වී ගැඹුරේ පතිත විය. ඒ විපතින් නැවියෝ අධෛර්යයට පත් වූ හ.</verse>
				<verse number="27">ඔව්හු බේබද්දන් මෙන් වීසි වෙමින් වැනි වැනී ගියහ. ඔවුන්ගේ දස්කමින් පලක් නො වී ය.</verse>
				<verse number="28">එවිට ඔව්හු තමන්ගේ විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ. එතුමාණෝ ඔවුන්ට පැමිණි විපතින් ඔවුන් මුදාගත් සේක.</verse>
				<verse number="29">එතුමාණෝ කුණාටුව සංසිඳෙවු සේක. එවිට මුහුදේ රැළ නිසල විය.</verse>
				<verse number="30">නිසලතාව ඇති වූ බැවින් ඔව්හු සතුටු වූ හ. එතුමාණෝ ඔවුන් අදහස් කළ වරායට ඔවුන් පැමිණෙවු සේක.</verse>
				<verse number="31">සමිඳුන්ගේ තිර පෙම හා මිනිසුන් හට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ එතුමන්ට තුති පුදත් වා!</verse>
				<verse number="32">ඔව්හු මහා සභාව මැද එතුමන්ගේ ශ්‍රේෂ්ඨත්වය පසසත් වා! ප්‍රජා මූලිකයන්ගේ රැස්වීමේ දී එතුමන්ට ප්‍රශංසා කරත් වා!</verse>
				<verse number="33">එතුමාණෝ ගංගා වැලි කතරට හරවන සේක; දිය උල්පතක් වියළි බිමක් කරන සේක.</verse>
				<verse number="34">එතුමාණෝ සරු බිම ලුණු කතරක් කරන සේක. ඊට හේතුව වැසියන්ගේ අපරාධ වන්නේ ය.</verse>
				<verse number="35">එතුමාණෝ කාන්තාරය දිය පොකුණක් කරන සේක; වියළි බිමක් දිය උල්පතක් ද කරන සේක;</verse>
				<verse number="36">සාගිනි වූවන් එහි වාසය කරවූ සේක; ඔව්හු ජීවත් වීමට සුදුසු නුවරක් සෑදුවෝ ය.</verse>
				<verse number="37">ඔව්හු කෙත් වපුරා මිදි වතු වගා කළෝ ය; එයින් සරු අස්වැන්න ලබාගත්හ.</verse>
				<verse number="38">ඔවුන්ට බොහෝ දරුපල ලැබෙන ලෙස එතුමාණෝ ඔවුන්ට ආසිරි දුන් සේක; ඔවුන්ගේ සිවුපාවුන්ගේ ගණන අඩු වන්න ඉඩ නුදුන් සේක.</verse>
				<verse number="39">ඉන්පසු දුක් පීඩා හා විපත්ති නිසා ඔවුන්ගේ ගණන අඩු වී ඔව්හු දුබල වූ හ.</verse>
				<verse number="40">එතුමාණෝ අධිපතීන් නින්දාවට පත් කොට, මං නැති පාළු තැන්වල මුළා වී යන්න සැලැසූ සේක.</verse>
				<verse number="41">එහෙත්, එතුමාණෝ දිළිඳුන් පීඩාවෙන් මුදා උසස් කොට බැටළු රැළක් මෙන් ඔවුන්ගේ පවුල් වැඩි කළ සේක.</verse>
				<verse number="42">සුදනෝ ඒ දැක ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය; දුදනෝ කලකිරීමට පත්වන්නෝ ය.</verse>
				<verse number="43">නුවණැත්තෝ මේ දේ සිතට ගනිත් වා! ඔව්හු සමිඳුන්ගේ තිර පෙම පිළිගනිත් වා!</verse>
			</chapter>
			<chapter number="108">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. අහෝ දෙවිඳුනි! මට අචල විශ්වාසයක් ඇත්තේ ය. මම ගී ගයා ඔබ පසසමි. මාගේ හදවත, අවදි වන්න!</verse>
				<verse number="2">එම්බා කුඩා වීණාව! මහා වීණාව, පිබිදෙන්න! එවිට මම උදා හිරු අවදි කරන්නෙමි.</verse>
				<verse number="3">අහෝ සමිඳුනි! මම ජනතාව අතර ඔබ පසසමි; විජාතීන් අතර මම ඔබට ගී ගයමි.</verse>
				<verse number="4">ඔබේ තිර පෙම සගලොව දක්වා නඟින්නේ ය; ඔබේ සත්‍යවාදීකම අහස උසට නැඟී ඇත්තේ ය.</verse>
				<verse number="5">දෙවිඳුනි, ඔබේ ශ්‍රේෂ්ඨත්වය අහසට වඩා උසස් බව දැක්වුව මැනව; ඔබේ මහිමාලංකාරය ලොව පුරා පැතිරේ වා!</verse>
				<verse number="6">ඔබ ප්‍රේම කරන්නන් මිදෙන පිණිස ඔබේ දකුණතින් අපට ගැළවීම දුන මැනව. අපේ අයැදුමට පිළිතුරු දුන මැනව.</verse>
				<verse number="7">දෙවිඳාණෝ සිය ශුද්ධස්ථානයෙන් මෙසේ වදාළ සේක: “විජයශ්‍රීයෙන් මම ෂෙකෙම් නම් පෙදෙස බෙදා දෙන්නෙමි; සුක්කොත් නම් මිටියාවත මැන වෙන් කරන්නෙමි.</verse>
				<verse number="8">ගිලියද් සහ මනස්සේ යන රටවල් මාගේ ය; එප්‍රායිම් දේශය මාගේ හිස් වැස්ම වන්නේ ය; ජුදා පෙදෙස මාගේ රාජකීය ජයකොන්තය වන්නේ ය;</verse>
				<verse number="9">මෝවබ් පෙදෙස මාගේ පා දොවන බඳුන වන්නේ ය; මාගේ පා වහන් ඒදොම් දේශයට වීසි කොට එය අයිති කරගන්නෙමි. පිලිස්තිය යටත් කොට ජය ඝෝෂා නඟන්නෙමි.”</verse>
				<verse number="10">කොටු පවුරු ඇති පුරයට මා කැඳවාගෙන යන්නේ කවරෙක් ද? ඒදොම් දේශයට මා ජය පෙරහරින් ගෙන යන්නේ කවරෙක් ද?</verse>
				<verse number="11">අහෝ සමිඳුනි! ඔබ අප සමඟ කෝප වී සිටින සේක් ද? අප සේනාවන් සමඟ ඔබ නොවඩින සේක් ද?</verse>
				<verse number="12">එදිරිකරුට විරුද්ධ ව ඔබ අපට සහාය දානය කළ මැනව. මන්ද, මිනිසාගේ උපකාරය නිෂ්ඵල වන්නේ ය.</verse>
				<verse number="13">දෙවිඳුන්ගේ සහය ඇති ව අපි වීරයන් මෙන් සටන් කරන්නෙමු; එතුමාණෝ ම අපේ එදිරිකරුවන් පයින් පාගාදමන සේක.</verse>
			</chapter>
			<chapter number="109">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. මාගේ පැසසුම වන හිමි දෙවිඳුනි, නිහඬ ව නොසිටිය මැනව.</verse>
				<verse number="2">මන්ද, දුෂ්ටයන් ද රැවටිලිකාරයන් ද මට බැණ වැදී ඇත; ඔව්හු මට විරුද්ධ ව බොරු චෝදනා නඟති.</verse>
				<verse number="3">ඔව්හු ද්වේෂ සහගත වචනවලින් මට පහර දෙති; මට විරුද්ධ ව නිකරුණේ සටන් කරති.</verse>
				<verse number="4">මා ඔවුන්ට ප්‍රේම කළත්, ඔවුන් වෙනුවෙන් යාච්ඤා කළත් ඔව්හු මට විරුද්ධ ව චෝදනා නඟති.</verse>
				<verse number="5">තවද, ඔව්හු මා කළ යහපතට අයහපත කරති; ප්‍රේමයට වෛරය දක්වති.</verse>
				<verse number="6">මාගේ සතුරාට විරුද්ධ ව කුරිරු විනිශ්චයකරුවෙකු පත් කළ මැනව. ඔහුගේ ම සතුරෙකු පැමිණිලිකරුවෙකු මෙන් ඉදිරිපත් කළ මැනව.</verse>
				<verse number="7">විනිශ්චයයේ දී ඔහු වරදකරු වේ වා! ඔහුගේ යාච්ඤාව ද පාපයක් මෙන් ගණන් ගැනේ වා!</verse>
				<verse number="8">
					ඔහු වැඩිකල් ජීවත් නො වේ වා!
					ඔහුගේ තනතුර අනිකෙක් ගනී වා!
				</verse>
				<verse number="9">ඔහුගේ දරුවෝ අනාථයෝ වෙත් වා! ඔහුගේ බිරිඳ ද වැන්දඹුවක් වේ වා!</verse>
				<verse number="10">ඔහුගේ දරුවෝ ඉබාගාතේ යමින් සිඟා කත් වා! ඔවුන් වාසය කරන පැල්පත්වලින් ඔව්හු පලවා හරිනු ලබත් වා!</verse>
				<verse number="11">ණය හිමියා ඔහු සන්තක සියල්ල ම පැහැර ගනී වා! ඔහු වෙහෙස වී සපයා ගත් සියල්ල විදේශිකයෝ කොල්ලකත් වා!</verse>
				<verse number="12">ඔහුට කරුණා කරන්න කිසිවෙක් නො වේ වා! ඔහුගේ අනාථ දරුවන්ට අනුකම්පා කරන්න කිසිවෙක් නොසිටී වා!</verse>
				<verse number="13">ඔහුගෙන් පැවත එන්නෝ වැනසී යත් වා! මීළඟ පරම්පරාවේ දී ඔවුන්ගේ නම මැකී යේ වා!</verse>
				<verse number="14">ඔහුගේ පියවරුන්ගේ අයුතුකම සමිඳුන් ඉදිරියෙහි සිහිකරනු ලැබේ වා! ඔහුගේ මවගේ පාප නොමැකේ වා!</verse>
				<verse number="15">සමිඳාණෝ ඔවුන්ගේ පව් නිතර ම සිහි කරන සේක් වා! මිහි මත කිසිවෙක් ඔහු සිහි නොකෙරේ වා!</verse>
				<verse number="16">මේ මිනිසා, දයාව දැක්වීම අමතක කර දුප්පතා හා දිළිඳා ද බිඳුණු සිත් ඇත්තා ද මරුමුවට යන තෙක් පීඩා කෙළේ ය.</verse>
				<verse number="17">එසේ ය, සාප කිරීමට ඔහු ප්‍රිය විය; ඒ සාපය ඔහු පිට ම පැමිණේ වා! ඔහු ආශීර්වාද කිරීමට ප්‍රිය නො වී ය, ඒ ආශීර්වාදය ඔහුගෙන් දුරු වේ වා!</verse>
				<verse number="18">ඔහු තමාගේ වස්ත්‍රය ඇඳගන්නාක් මෙන් පහසුවෙන් සාප කෙළේ ය. ඒ සාපය ඔහු තුළට දිය මෙන් ද ඔහුගේ ඇට තුළට තෙල් මෙන් ද උරාගනු ලැබේ වා!</verse>
				<verse number="19">ඇඟ දවටන සළුව මෙන් ද නිතර බඳින ඉඟ පටිය මෙන් ද ඒ සාපය ඔහු සමඟ නවතී වා!</verse>
				<verse number="20">මාගේ එදිරිකාරයන්ටත්, මට විරුද්ධ ව නපුරු දේ කියන්නන්ටත් සමිඳුන්ගෙන් ලැබෙන විපාකය ඒ සාපය වේ වා!</verse>
				<verse number="21">එහෙත්, මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබ පොරොන්දු වූ පරිදි මට පිහිට වුව මැනව; ඔබේ තිර පෙම යහපත් බැවින් මා මුදාගත මැනව.</verse>
				<verse number="22">මන්ද, මම දුප්පත් ය; අසරණ ය; මා සිත සන්තාපයෙන් පෙළෙයි.</verse>
				<verse number="23">මම සවස සෙවණැල්ලක් මෙන් පහ වී යමි; මම පළඟැටියෙකු මෙන් සුළඟට ගසාගෙන යනු ලබමි.</verse>
				<verse number="24">නිරාහාර ව සිටීමෙන් මාගේ මාංසය වැහැරී යෑම නිසා මා කෙසඟ වී ඇත.</verse>
				<verse number="25">
					මම ඔවුන්ගේ නින්දාවට ලක් වී සිටිමි;
					ඔව්හු මා දකින විට සරදම් කරමින් හිස් වනති.
				</verse>
				<verse number="26">මාගේ දෙවි සමිඳුනි, මට පිහිට වුව මැනව; ඔබේ තිර පෙම ප්‍රකාරයට මා ගැළෙවුව මැනව.</verse>
				<verse number="27">එවිට මෙය, ඔබේ ක්‍රියාවක් බවත්, සමිඳුනි, ඔබ මෙය කළ බවත් ඔව්හු දැනගනිත් වා!</verse>
				<verse number="28">ඔවුන් මට සාප කරතත් ඔබ මට ආශීර්වාද කළ මැනව. මට පීඩා කරන්නෝ ලජ්ජාවට පත් වෙත් වා! ඔබේ මෙහෙකරුවා වන මම ප්‍රීතියට පත් වෙම් වා!</verse>
				<verse number="29">මාගේ එදිරිකාරයෝ අගෞරවයෙන් වැසී යෙත් වා! උතුරු සළුවකින් මෙන් ඔවුන්ගේ ලජ්ජාව ඔව්හු වසාගනිත්වා.</verse>
				<verse number="30">මාගේ මුවින් සමිඳුන්ට බොහෝ සෙයින් තුති කරන්නෙමි; එසේ ය, මහා සභාවේ දී එතුමන්ට ප්‍රශංසා කරන්නෙමි.</verse>
				<verse number="31">දිළිඳා මරණයට තීන්දු කරන්නන්ගෙන් ඔහු ගළවන පිණිස එතුමාණෝ ඔහුට ආරක්ෂාව වී සිටින සේක.</verse>
			</chapter>
			<chapter number="110">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. සමිඳාණෝ මා සමිඳුන්ට කතා කොට, “මා නුඹේ සතුරන් නුඹේ පා යට ලන තෙක් මාගේ දකුණු පස අසුන් ගන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="2">සමිඳාණන් සියොන්හි සිට ජයකොන්තය ඔබ අතට දුන් විට ඔබේ සතුරන් මැද රජකම් කළ මැනව.</verse>
				<verse number="3">ඔබ සතුරන් සමඟ සටන් කරන දවසේ දී ඔබේ සෙනඟ සිය කැමැත්තෙන් ඔබට එකතු වන්නෝ ය. අලුයම පිනි මෙන්, ඔබේ තරුණයෝ ඔබ වෙත පැමිණෙති.</verse>
				<verse number="4">
					“නුඹ මෙල්කිසදෙක්ගේ පරපුරෙන් සදහට ම පූජකයෙක් ය”යි සමිඳාණෝ දිවුළ සේක;
					එය වෙනස් නොකරන සේක.
				</verse>
				<verse number="5">සමිඳාණෝ ඔබ දකුණු පස වැඩ සිටින සේක. උදහස් දිනයේ දී එතුමාණෝ රජුන්ගේ ඔද බිඳදමන සේක.</verse>
				<verse number="6">එතුමාණෝ ජාතීන් අතරෙහි විනිශ්චය කරන සේක; මළකඳන්වලින් රණ බිම පුරවන සේක. ලොව පුරා සිටින රජවරුන් පරාජය කරන සේක.</verse>
				<verse number="7">රජතුමා යන මඟ අසල ඇති දොළ පහරින් දිය පානය කරනු ඇත; එයින් ශක්තිමත් කරනු ලැබ සටනින් ජයග්‍රාහී වනු ඇත.</verse>
			</chapter>
			<chapter number="111">
				<verse number="1">සමිඳුන් පසසන්න, දැහැමියන්ගේ සමාගමේ දී ද සභාවේ දී ද මාගේ මුළු සිතින් සමිඳුන්ට ස්තුති කරන්නෙමි.</verse>
				<verse number="2">සමිඳුන්ගේ ක්‍රියා කොපමණ උදාර ද? ඒවාට ප්‍රිය වන සියල්ලෝ ඒවා තේරුම්ගැනීමට උත්සාහ කරති.</verse>
				<verse number="3">එතුමන්ගේ ක්‍රියා ගෞරවයෙන් හා මහිමයෙන් පූර්ණ ය; එතුමන්ගේ දැහැමිකම සදාතන ය.</verse>
				<verse number="4">සිය පුදුම ක්‍රියාවන් අපට අමතක වන්නට ඉඩ නාරින සේක. සමිඳාණෝ, දයාවන්ත ය; සානුකම්පිත ය.</verse>
				<verse number="5">එතුමාණෝ තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට ආහාර දෙන සේක. එතුමාණෝ සිය ගිවිසුම කිසි කලක අමතක නොකරන සේක.</verse>
				<verse number="6">එතුමාණෝ විජාතීන්ගේ දේශයන් තමන් සෙනඟට දීමෙන් තමන් බලය ඔවුන්ට පෙන්වූ සේක.</verse>
				<verse number="7">එතුමන්ගේ ක්‍රියා සත්‍යය හා යුක්තිය ප්‍රකාශ කරයි; එතුමන්ගේ පණත් සියල්ල විශ්වාසී ය.</verse>
				<verse number="8">ඒවා සදහට ම පවතිනු ඇත. සත්‍යයෙන් හා අවංකකමෙන් ඒවා සිදු කරන ලද්දේ ය.</verse>
				<verse number="9">එතුමාණෝ සිය සෙනඟ මුදා ලූ සේක; සිය ගිවිසුම සදහට ම පිහිටෙවු සේක. එතුමන්ගේ නාමය සුවිශුද්ධ ය; ගරු ගම්භීර ය.</verse>
				<verse number="10">
					දේව ගරුබිය පෑම ප්‍රඥාවේ මුල් පියවර වේ; එය පිළිපදින සියල්ලන්ට මනා බුද්ධිය ඇති වන්නේ ය.
					එතුමන්ගේ ප්‍රශංසාව සදාකල් පවත්නේ ය.
				</verse>
			</chapter>
			<chapter number="112">
				<verse number="1">සමිඳුන් පසසන්න, සමිඳුන් වෙත ගරුබිය ඇති ව සිටින්නා ද එතුමන්ගේ ආඥාවලට බොහෝ සේ ප්‍රිය වන්නා ද භාග්‍යවන්ත ය.</verse>
				<verse number="2">ඔහුගේ පරපුර දේශයෙහි බලවත් වන්නේ ය. දැහැමි පරපුර ආසිරි ලබන්නේ ය.</verse>
				<verse number="3">සම්පත ද වස්තුව ද ඔහුගේ නිවෙසෙහි ඇත්තේ ය. ඔහුගේ දැහැමිකම සදාකල් පවත්නේ ය.</verse>
				<verse number="4">සුදනාට අඳුරෙහි එළියක් උදා වන්නේ ය; ඔහු දයාවන්ත ය; සානුකම්පිත ය; දැහැමි ය.</verse>
				<verse number="5">දානශීලී ව ණයට දෙන මිනිසාට සුබ සෙත වේ; ඔහු සිය කටයුතු අවංක ලෙස කරන්නේ ය.</verse>
				<verse number="6">මන්ද, දැහැමියා කිසි කලෙකත් නොපැකිළෙන්නේ ය. ඔහු සදහට ම සිහිකරනු ලබන්නේ ය.</verse>
				<verse number="7">ඔහු නරක ආරංචිවලට බිය නොවන්නේ ය. ඔහුගේ ඇදහිල්ල ස්ථිර ය. ඔහු සමිඳුන් විශ්වාස කරන්නේ ය.</verse>
				<verse number="8">ඔහුගේ සිත සවිමත් ය; ඔහු බිය නොවන්නේ ය. සිය සතුරන්ගේ පරාජය දක්නට ලැබෙන බව ඔහුට ඒකාන්ත ය.</verse>
				<verse number="9">
					ඔහු දිළිඳුන්ට නොමසුරු ව දෙන්නේ ය;
					ඔහුගේ දැහැමිකම සදාකල් පවත්නේ ය; ඔහු ගරු සම්මාන ලබා බලවත් වන්නේ ය.
				</verse>
				<verse number="10">දුෂ්ටයා ඒ දැන කෝප වන්නේ ය; ඔහු දත්මිටි කා වැහැරී යන්නේ ය; දුදනන්ගේ බලාපොරොත්තු සුන් වී යන්නේ ය.</verse>
			</chapter>
			<chapter number="113">
				<verse number="1">සමිඳුන්ට ප්‍රශංසා කරන්න, සමිඳුන්ගේ මෙහෙකරුවෙනි, ප්‍රශංසා කරන්න, සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා කරන්න.</verse>
				<verse number="2">මෙතැන් පටන් සදහට සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා වේ වා!</verse>
				<verse number="3">සමිඳුන්ගේ නාමයට නැගෙනහිර පටන් බස්නාහිර දක්වා ප්‍රශංසා කටයුතු ය.</verse>
				<verse number="4">සියලු ජාතීන්ට ඉහළින් සමිඳාණෝ වැජඹෙන සේක. එතුමන්ගේ මහිමාලංකාරය අහස් තලය ඉක්මවා යයි.</verse>
				<verse number="5">අපේ දෙවි සමිඳුන්ට සමාන අන් කෙනෙක් නැත; එතුමාණෝ උසස් තැන්හි වැඩ හිඳින සේක.</verse>
				<verse number="6">එහෙත්, අහසත්, පොළොවත් බලන පිණිස එතුමාණෝ පහතට නැමෙන සේක.</verse>
				<verse number="7">එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක; දිළිඳා කසළ ගොඩින් ඔසවන සේක.</verse>
				<verse number="8">එසේ කරන්නේ, ඔවුන් අධිපතීන් සමඟ, තම සෙනඟගේ අධිපතීන් සමඟ හිඳුවන පිණිස ය.</verse>
				<verse number="9">එතුමාණෝ වඳ ස්ත්‍රිය දරුවන් ඇති ප්‍රීතිමත් මවක කරන සේක; ඈට නිවෙසක් දෙන සේක. සමිඳුන්ට ප්‍රශංසා කරන්න.</verse>
			</chapter>
			<chapter number="114">
				<verse number="1">ඉශ්රායෙල් සෙනඟ මිසර දේශයෙන් ද ජාකොබ්ගේ පරපුර විදේශයකින් ද නික්ම ගියෝ ය.</verse>
				<verse number="2">එවිට ජුදා දේශය සමිඳුන්ගේ ශුද්ධස්ථානය විය, ඉශ්රායෙල් දේශය එතුමන්ගේ රාජ්‍යය විය.</verse>
				<verse number="3">
					රතු මුහුද එය දැක පලා ගියා ය;
					ජොර්දාන් ගඟ ආපසු ගලා යෑම නැවතුණේ ය.
				</verse>
				<verse number="4">කඳු, බැටළුවන් මෙන් ද කුඩා හෙල්, බැටළු පැටවුන් මෙන් ද පැන පැන ක්‍රීඩා කෙළේ ය.</verse>
				<verse number="5">එම්බා රතු මුහුද! නුඹ පලා යන්නේත්, ජොර්දාන් ගඟ, නුඹේ ගැලීම නැවතුණේත් නුඹලාට කුමක් සිදු වූ නිසා ද?</verse>
				<verse number="6">එම්බා කඳු! නුඹලා බැටළුවන් මෙන් ද කුඩා හෙල්, නුඹලා බැටළු පැටවුන් මෙන් ද පැන පැන ක්‍රීඩා කරන්නේ කුමක් නිසා ද?</verse>
				<verse number="7">එම්බා මිහිකත! පර්වත දිය පොකුණක් බවට ද ගිනි ගල දිය උල්පතක් බවට ද හරවන දෙවිඳුන්,</verse>
				<verse number="8">
					එනම්, ජාකොබ්ගේ දෙවිඳුන් වඩින විට එතුමන් අබියස බියෙන් ඇලළෙමින් වෙවුලන්න.
				</verse>
			</chapter>
			<chapter number="115">
				<verse number="1">සමිඳුනි, අප නිසා නොව, අප නිසා නොව, ඔබේ තිර පෙම නිසාත්, සත්‍යවාදිකම නිසාත්, ඔබේ නාමය නිසාත් ඔබේ මහිමාලංකාරය ප්‍රකාශ කළ මැනව.</verse>
				<verse number="2">“ඔවුන්ගේ දෙවිඳාණෝ දැන් කොතැන්හි දැ”යි ජාතීන්ට අසන්න ඉඩ දෙන්නේ කුමට ද?</verse>
				<verse number="3">අපේ දෙවි තුමාණෝ ස්වර්ගයේ ය; තමන් කැමැති කුමන දෙයක් වුවත් එතුමාණෝ කරන සේක.</verse>
				<verse number="4">
					ඔවුන්ගේ දේවතා රූප රිදීයෙන් හා රනින් ය;
					මිනිසුන්ගේ දෑතේ වැඩ ය.
				</verse>
				<verse number="5">ඒවාට කටවල් ඇත, එහෙත්, කතා නොකරයි; ඇස් ඇත, එහෙත්, නොදකියි;</verse>
				<verse number="6">කන් ඇත, එහෙත්, නොඇසෙයි; නාස් ඇත, එහෙත්, ගඳ සුවඳ නොදැනෙයි;</verse>
				<verse number="7">ඒවාට දෑත ඇත, එහෙත්, ස්පර්ශ නොකරයි; පාද ඇත, එහෙත්, නොඇවිදියි; උගුරෙන් ශබ්ද නොකරයි.</verse>
				<verse number="8">ඔවුන් සාදන්නෝ ඔවුන් වාගේ ම ය; ඔවුන් විශ්වාස කරන සියල්ලෝත් එසේ ම ය.</verse>
				<verse number="9">එම්බා ඉශ්රායෙල් ජනයෙනි! සමිඳුන් විශ්වාස කරන්න. ඔබේ සරණත්, පලිහත් එතුමාණෝ ය.</verse>
				<verse number="10">එම්බා ආරොන්ගේ වංශය! සමිඳුන් විශ්වාස කරන්න. ඔබේ සරණත්, පලිහත් එතුමාණෝ ය.</verse>
				<verse number="11">සමිඳුන් නමදින සියල්ලෙනි! සමිඳුන් විශ්වාස කරන්න. ඔබේ සරණත්, පලිහත් එතුමාණෝ ය.</verse>
				<verse number="12">සමිඳාණෝ අප සිහිකරන සේක; අපට ආශීර්වාද කරන සේක; එතුමාණෝ ඉශ්රායෙල් වංශයට ආශීර්වාද කරන සේක; එතුමාණෝ ආරොන්ගේ වංශයට ආශීර්වාද කරන සේක.</verse>
				<verse number="13">
					සමිඳුන් කෙරෙහි ගරුබිය ඇති ලොකු කුඩා සියල්ලන්ට එතුමාණෝ ආශීර්වාද කරන සේක.
				</verse>
				<verse number="14">සමිඳාණෝ ඔබ හා ඔබේ දරුවන් වඩ වඩා වර්ධනය කරන සේක් වා!</verse>
				<verse number="15">අහසත්, පොළොවත් මැවූ සමිඳාණෝ ඔබට ආශීර්වාද කරන සේක් වා!</verse>
				<verse number="16">ස්වර්ගය වනාහි සමිඳුන්ට පමණක් අයිති ය. එහෙත්, පොළොව එතුමාණෝ මිනිසුන්ට දුන් සේක.</verse>
				<verse number="17">මියගිය අය වත්, පාතාල ලෝකයේ අය වත් සමිඳුන්ට ප්‍රශංසා නොකරති.</verse>
				<verse number="18">එහෙත් අපි, ජීවත් ව සිටින අපි, මෙතැන් පටන් සදහට ම සමිඳුන්ට ප්‍රශංසා කරන්නෙමු. සමිඳුන්ට ප්‍රශංසා කරන්න.</verse>
			</chapter>
			<chapter number="116">
				<verse number="1">සමිඳුන්ට ප්‍රේම කරමි, මන්ද, එතුමාණෝ මගේ අයැදුම ද මාගේ කන්නලව්ව ද ඇසූ සේක.</verse>
				<verse number="2">එතුමාණන් මා දෙසට කන් යොමු කළ බැවින් දිවි ඇතිතාක් මම එතුමන්ට යාච්ඤා කරන්නෙමි.</verse>
				<verse number="3">මාරක රැහැනෙන් මම වෙළුණෙමි. පාතාලයේ වේදනා මා අසු කරගත්තේ ය; විපත හා දුක මා වෙළාගත්තේ ය.</verse>
				<verse number="4">එවිට මම සමිඳුන්ගේ නාමයෙන් අයැදිමි; “සමිඳුනි, මා මිදුව මැනවැ”යි කීමි.</verse>
				<verse number="5">සමිඳාණෝ දයාවන්ත ය; දැහැමි ය. එසේ ය, අපේ දෙවිඳාණෝ අනුකම්පාවෙන් යුක්ත ය.</verse>
				<verse number="6">සමිඳාණෝ නිහතමානි අය සුරකින සේක. මා අනතුරේ වැටී සිටිය දී එතුමාණෝ මා ගළවාගත් සේක.</verse>
				<verse number="7">මාගේ සිත, යළි සන්සුන් වන්න. මන්ද, සමිඳාණෝ ඔබට බොහෝ සේ යහපත්කම් කළ සේක.</verse>
				<verse number="8">එතුමාණෝ මාගේ ජීවිතය මරණයෙන් ද මාගේ ඇස් කඳුළෙන් ද මාගේ පාද පැකිළීමෙන් ද ගළවාගත් සේක.</verse>
				<verse number="9">එසේ හෙයින්, මම ජීවතුන් අතර සමිඳුන් ඉදිරියෙහි හැසිරෙන්නෙමි.</verse>
				<verse number="10">
					“මම බොහෝ පීඩා විඳිමි”යි කී අතර වුව ද මාගේ විශ්වාසය තිර ලෙස රැකගතිමි.
				</verse>
				<verse number="11">මා භීතියට පත් ව සිටිය දී, “මිනිසෙකු තුළ බලාපොරොත්තුව තැබීම නිෂ්ඵල ය”යි කීවෙමි.</verse>
				<verse number="12">සමිඳුන් මා හට කළ සියලු යහපත්කම් ගැන එතුමන්ට මම කුමක් පුදම් ද?</verse>
				<verse number="13">මම ගැළවීමේ කුසලාන ගන්නෙමි; සමිඳුන්ගේ නාමයෙන් යාච්ඤා කරන්නෙමි.</verse>
				<verse number="14">එසේ ය, සමිඳුන්ගේ මුළු සෙනඟ ඉදිරියෙහි මාගේ බාරහාර මම ඉටු කරන්නෙමි.</verse>
				<verse number="15">සැදැහැවතුන්ගේ මරණය සමිඳුන් අබියස අගනේ ය.</verse>
				<verse number="16">සමිඳුනි, මම ඔබේ මෙහෙකරුවෙක් වෙමි; සැබැවින් ම ඔබේ මෙහෙකරුවෙක් වෙමි; ඔබේ දාසිගේ පුත්‍රයා වෙමි. ඔබ මාගේ බැඳුම් මිදූ සේක.</verse>
				<verse number="17">මම ඔබට ස්තුති පූජාව පුදන්නෙමි; සමිඳුන්ගේ නාමය අමතා අයැදින්නෙමි.</verse>
				<verse number="18">එසේ ය, සමිඳුන්ගේ මුළු සෙනඟ ඉදිරියෙහි මාගේ බාරහාර ඉටු කරන්නෙමි,</verse>
				<verse number="19">සමිඳුන්ගේ මාලිගාවේ මළුවල දීත්, එම්බා ජෙරුසලම! තී මධ්‍යයෙහි දීත් එසේ කරන්නෙමි. සමිඳුන්ට ප්‍රශංසා කරන්න.</verse>
			</chapter>
			<chapter number="117">
				<verse number="1">සකල ජාතීනි, සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සව් සතුනි, හිමි තුම ගුණ මහිමය වර්ණනා කරන්න.</verse>
				<verse number="2">මන්ද, අප කෙරෙහි සමිඳුන්ගේ ප්‍රේමය ඉමහත් ය, එතුමන්ගේ විශ්වාසකම සදහට ම පවත්නේ ය. සමිඳුන්ට ප්‍රශංසා කරන්න.</verse>
			</chapter>
			<chapter number="118">
				<verse number="1">සමිඳුන්ට ස්තුති කරන්න. මන්ද, එතුමාණෝ යහපත් ය. එතුමන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය.</verse>
				<verse number="2">“එතුමන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය”යි ඉශ්රායෙල් දැන් කියත් වා!</verse>
				<verse number="3">“එතුමන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය”යි ආරොන්ගේ වංශය දැන් කියත් වා!</verse>
				<verse number="4">“සමිඳුන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය”යි එතුමන් කෙරෙහි ගරුබිය ඇත්තෝ දැන් කියත් වා!</verse>
				<verse number="5">මාගේ විපතේ දී සමිඳුන්ට යාච්ඤා කෙළෙමි. සමිඳාණෝ මට පිළිතුරු දෙමින් මා නිදහස් කළ සේක.</verse>
				<verse number="6">
					සමිඳුන් මාගේ පැත්තට සිටින බැවින් මම බිය නොවන්නෙමි.
					මට හානි කිරීමට කිසිවෙකුට හැකි ද?
				</verse>
				<verse number="7">සමිඳාණෝ මාගේ පැත්තෙහි ය; මාගේ උපකාරකයාණෝ ය. එබැවින්, වෛර කරන්නන්ගේ පරාජය මම දකින්නෙමි.</verse>
				<verse number="8">මිනිසා කෙරෙහි විශ්වාසය තැබීමට වඩා සමිඳුන් කෙරෙහි විශ්වාසය තැබීම යහපත.</verse>
				<verse number="9">අධිපතීන් කෙරෙහි විශ්වාසය තැබීමට වඩා සමිඳුන් කෙරෙහි විශ්වාසය තැබීම යහපත.</verse>
				<verse number="10">බොහෝ සතුරෝ මා වට කරගත්හ. සමිඳුන්ගේ බලයෙන් මම ඔවුන් විනාශ කෙළෙමි.</verse>
				<verse number="11">ඔව්හු මා වට කරගත්හ; එසේ ය, මා වට කරගත්හ. සමිඳුන්ගේ බලයෙන් මම ඔවුන් විනාශ කෙළෙමි.</verse>
				<verse number="12">ඔව්හු මී මැස්සන් මෙන් මා වට කරගත්හ; ගිනිගත් කටු පඳුරක් මෙන් ඔව්හු ඇවිළී ගියහ. සමිඳුන්ගේ බලයෙන් මම ඔවුන් විනාශ කෙළෙමි.</verse>
				<verse number="13">වැටෙන පිණිස මම තදින් තල්ලු කරන ලදිමි; එහෙත්, සමිඳාණෝ මට පිහිට වූ සේක.</verse>
				<verse number="14">
					සමිඳාණෝ මාගේ සවිය ද ගීය ද වෙති;
					එතුමාණෝ මාගේ ගැළවුම්කාරයාණෝ ය.
				</verse>
				<verse number="15">ප්‍රීතිවීමේ හා ගැළවීමේ හඬට සවන් දෙන්න. දමිටුන්ගේ කූඩාරම්වල ජය නාදය ඇසේ. සමිඳුන්ගේ බාහු බලය විකුම් දක්වයි.</verse>
				<verse number="16">සමිඳුන්ගේ බාහු බලය උදාර ය. සමිඳුන්ගේ බාහු බලය විකුම් දක්වයි.</verse>
				<verse number="17">මම නොනැසී, ජීවත් ව සිටින්නෙමි; සමිඳුන්ගේ ක්‍රියා ප්‍රකාශ කරන්නෙමි.</verse>
				<verse number="18">සමිඳාණෝ දැඩි ලෙස මට දඬුවම් දුන් සේක. එහෙත්, මරුවාට මා පාවා නුදුන් සේක.</verse>
				<verse number="19">දමිටුකමේ දොරටු මට හැර දෙන්න; එවිට, එයින් මම ඇතුල් වී සමිඳුන්ට ස්තුති කරන්නෙමි.</verse>
				<verse number="20">මෙන්න, සමිඳුන්ගේ දොරටුව! දැහැමියෝ එයින් ඇතුල් වන්නෝ ය.</verse>
				<verse number="21">මම ඔබට ස්තුති කරන්නෙමි, මන්ද, ඔබ මට පිළිතුරු දී මාගේ ගැළවීම වූ සේක.</verse>
				<verse number="22">
					ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම මුල් ගල වී ඇත.
				</verse>
				<verse number="23">
					මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි;
					එය අපේ දෙනෙතට අසිරිමත් ය.
				</verse>
				<verse number="24">මෙන්න, සමිඳුන්ගේ ජය මංගල දිනය! මෙදින අපි ප්‍රීති වමු; සන්තෝෂ වමු.</verse>
				<verse number="25">
					සමිඳුනි, දැන් අප ගැළෙවුව මැනව.
					සමිඳුනි, දැන් අපට ජය අත්කර දුන මැනව.
				</verse>
				<verse number="26">
					සමිඳුන්ගේ නාමයෙන් වඩින තැනැත්තේ ආසිරි ලද්දෙකි.
					සමිඳුන්ගේ මාලිගාවේ සිට අපි ඔබට ආසිරි පතමු.
				</verse>
				<verse number="27">සමිඳාණෝ දෙවිඳාණෝ ය; එතුමාණෝ අපට එළිය දුන් සේක; අතු ගත් අත් ඇති ව පූජාසනය වටා පෙරහරින් ගමන් කරන්න.</verse>
				<verse number="28">ඔබ මාගේ දෙවිඳාණෝ ය; මම ඔබට ස්තුති කරන්නෙමි. ඔබ මාගේ දෙවිඳාණෝ ය; මම ඔබට උස් හඬින් පැසසුම් ගී ගයන්නෙමි.</verse>
				<verse number="29">සමිඳුන්ට ස්තුති කරන්න; මන්ද, එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ තිර පෙම සදා පවත්නේ ය.</verse>
			</chapter>
			<chapter number="119">
				<verse number="1">නිදොස් දිවියක් ගත කරන අය, සමිඳුන්ගේ ව්‍යවස්ථාව අනුව හැසිරෙන අය භාග්‍යවන්ත ය.</verse>
				<verse number="2">එතුමන්ගේ ශික්ෂා පද පවත්වන අය, මුළු සිතින් එතුමන් සොයන අය භාග්‍යවන්ත ය.</verse>
				<verse number="3">එසේ ය, ඔව්හු කිසි නපුරක් නොකරති; ඔව්හු එතුමන්ගේ මාර්ගවල හැසිරෙති.</verse>
				<verse number="4">අප ඔබේ නියෝග අනලස් ව පවත්වන පිණිස ඔබ ඒවා අපට නියම කළ සේක.</verse>
				<verse number="5">ඔබේ පණත් පිළිපැදීමෙන් මාගේ චර්යාව ස්ථිර ව පැවතේ වා!</verse>
				<verse number="6">ඔබේ ආඥා සියල්ලට ඇලුම් ව සිටින විට මම ලජ්ජා නොවන්නෙමි.</verse>
				<verse number="7">ඔබේ දැහැමි අණපණත් මා දැනගත් විට අවංක සිතින් ඔබට ස්තුති කරන්නෙමි.</verse>
				<verse number="8">ඔබේ පණත් පිළිපදින්නෙමි; මා කිසි දා අත් නොහැරිය මැනව.</verse>
				<verse number="9">තරුණයෙකු තම දිවි මඟ පිවිතුරු ව තබාගන්නේ කෙසේ ද? ඔබේ ආඥාවට කීකරු වීමෙනි.</verse>
				<verse number="10">මාගේ මුළු සිතින් ඔබ සෙවීමි; ඔබේ ආඥාවලට පිටුපා යන්නට මට ඉඩ නුදුන මැනව.</verse>
				<verse number="11">ඔබට විරුද්ධ ව පව් නොකරන පිණිස ඔබේ වචනය මාගේ සිතේ නිදන් කරගනිමි.</verse>
				<verse number="12">සමිඳුනි, මම ඔබ පසසමි, ඔබේ පණත් මට ඉගැන්නුව මැනව.</verse>
				<verse number="13">ඔබ ප්‍රකාශ කළ සියලු නීති මාගේ මුවින් පතුරුවා හැරීමි.</verse>
				<verse number="14">සියලු යස ඉසුරෙහි ප්‍රීති වීමට වඩා ඔබේ ශික්ෂා මාර්ගයෙහි ප්‍රීතිමත් වෙමි.</verse>
				<verse number="15">ඔබේ නියෝග ගැන භාවනා කරන්නෙමි; ඔබේ මාර්ග කෙරෙහි මාගේ සිත යොමු කරන්නෙමි.</verse>
				<verse number="16">ඔබේ නියමවලට ප්‍රිය වන්නෙමි; ඔබේ වචනය අමතක නොකරන්නෙමි.</verse>
				<verse number="17">ඔබේ මෙහෙකරුගේ යහපත ගැන හොඳින් සලකා බැලුව මැනව. එවිට මම ජීවත් වන්නෙමි, ඔබේ ඉගැන්වීම් පවත්වන්නෙමි.</verse>
				<verse number="18">ඔබේ ව්‍යවස්ථාවෙහි පුදුම අගයන් දක්නා පිණිස මාගේ ඇස් පැහැදුව මැනව.</verse>
				<verse number="19">මම මිහි පිට ආගන්තුක ව වසන්නෙක්මි. ඔබේ ආඥාවන් මාගෙන් නොසැඟවුව මැනව.</verse>
				<verse number="20">සැම විට ම ඔබේ නීති දැනගැනීමට මා සිත දැඩි ආශාවෙන් දැවෙන්නේ ය.</verse>
				<verse number="21">ඔබේ ආඥාවලට පිටුපා යන, සාපලත් උඩඟු අයට ඔබ තරවටු කරන සේක.</verse>
				<verse number="22">ඔවුන්ගේ නින්දාවත්, අවමානයත් මා කෙරෙන් පහ කළ මැනව. මන්ද, මම ඔබේ ශික්ෂා පද රක්ෂා කෙළෙමි.</verse>
				<verse number="23">අධිපතියෝ එක් රැස් ව මට විරුද්ධ ව කුමන්ත්‍රණ කළෝ ය. එහෙත්, ඔබේ මෙහෙකරුවා ඔබේ පණත් භාවනා කරන්නේ ය.</verse>
				<verse number="24">ඔබේ ශික්ෂා පද මාගේ ප්‍රීතිය වේ. ඒවා මාගේ උපදේශකයා ය.</verse>
				<verse number="25">මම දූවිල්ලෙහි වැතිර සිටිමි. ඔබේ පොරොන්දුව ලෙස මා ප්‍රාණවත් කළ මැනව.</verse>
				<verse number="26">මා කළ සියල්ල ප්‍රකාශ කෙළෙමි. එවිට ඔබ පිළිතුරු දුන් සේක. දැන් ඔබේ පණත් මට ඉගැන්නුව මැනව.</verse>
				<verse number="27">ඔබේ නියෝග මට තේරුම් කර දුන මැනව. එවිට ඔබේ බලවත් ක්‍රියා ගැන මම භාවනා කරන්නෙමි.</verse>
				<verse number="28">මහද සොවින් උණු වී යයි. ඔබේ පොරොන්දුව ලෙස මා ශක්තිමත් කළ මැනව.</verse>
				<verse number="29">වංක ක්‍රියා මා කෙරෙන් දුරින් දුරු කළ මැනව. ඔබේ ව්‍යවස්ථාව අනුව ජීවත් වීමට මට වරම් දුන මැනව.</verse>
				<verse number="30">සත්‍ය මාර්ගය මම තෝරාගතිමි. ඔබේ නීති මා ඉදිරියෙහි තබාගතිමි.</verse>
				<verse number="31">අහෝ සමිඳුනි! ඔබේ ශික්ෂා පදවලට ඇලුම් වෙමි. මා ලජ්ජාවට නොපැමිණෙවුව මැනව.</verse>
				<verse number="32">ඔබ මාගේ දැනුම පුළුල් කරන විට ඔබේ ශික්ෂා මාර්ගයෙහි යුහු ව ගමන් කරන්නෙමි.</verse>
				<verse number="33">සමිඳුනි, ඔබේ ශික්ෂා මාර්ගය මට ඉගැන්නුව මැනව. එය දිවි හිමියෙන් මම පිළිපදින්නෙමි.</verse>
				<verse number="34">මට මනා අවබෝධය දුන මැනව. එවිට ඔබේ ව්‍යවස්ථාව රක්ෂා කරන්නෙමි; එසේ ය, මාගේ මුළු සිතින් එය පිළිපදින්නෙමි.</verse>
				<verse number="35">ඔබේ ශික්ෂා මාර්ගයෙහි මා කැඳවාගෙන යනු මැනව. මන්ද, එය මාගේ ප්‍රීතිය වේ.</verse>
				<verse number="36">අයුතු ලාභයට නොව, ඔබේ ශික්ෂා පදවලට මාගේ සිත යොමු කළ මැනව.</verse>
				<verse number="37">නිසරු දේ නැරඹීමෙන් මාගේ නෙත් වැළකුව මැනව; ඔබේ වචනයෙන් මා ප්‍රාණවත් කළ මැනව.</verse>
				<verse number="38">ඔබ කෙරෙහි ගරුබිය ඇත්තන් හට ඔබ දෙන පොරොන්දුව ඔබේ මෙහෙකරුවාට ඉටුකර දුන මැනව.</verse>
				<verse number="39">මා තුළ බිය උපදවන මාගේ නින්දාව මා කෙරෙන් පහකළ මැනව. මන්ද, ඔබේ විශ්වාසවන්තකම යහපත් ය.</verse>
				<verse number="40">ඔබේ නියෝගයන්ට ආශා වීමි. ඔබේ දැහැමි බවෙහි මා ප්‍රාණවත් කළ මැනව.</verse>
				<verse number="41">සමිඳුනි, ඔබේ පොරොන්දුව පරිදි ඔබේ තිර පෙම පෙන්වා වදාළ මැනව. එනම්, ඔබේ ගැළවීම මා වෙත එවා වදාළ මැනව.</verse>
				<verse number="42">එවිට මට නින්දා කරන්නාට දිය යුතු පිළිතුරක් මට ඇති වන්නේ ය. මන්ද, මම ඔබේ වචනය විශ්වාස කරමි.</verse>
				<verse number="43">සත්‍ය වචනය මාගේ මුවින් ඉවත් නොකළ මැනව. මන්ද, ඔබේ විනිශ්චයයන් තුළ මම මාගේ බලාපොරොත්තුව තබමි.</verse>
				<verse number="44">මෙසේ ඔබේ ව්‍යවස්ථාව සදහට ම නොකඩවා පිළිපදින්නෙමි.</verse>
				<verse number="45">මම නිදහස් ලෙස හැසිරෙන්නෙමි. මන්ද, ඔබේ නියෝග අනුව මම ජීවත් වීමි.</verse>
				<verse number="46">රජුන් ඉදිරියෙහිත් ඔබේ ශික්ෂා පද ගැන කතා කරමි; ලජ්ජාවට පත් නොවන්නෙමි.</verse>
				<verse number="47">මා සිත් ගත් ඔබේ ආඥාවන් කෙරෙහි ප්‍රීති වන්නෙමි.</verse>
				<verse number="48">මා සිත් ගත් ඔබේ ආඥාවලට ගරුසරු දක්වා ඔබේ පණත් ගැන භාවනා කරන්නෙමි.</verse>
				<verse number="49">ඔබේ මෙහෙකරුවා වන මට ඔබ දුන් පොරොන්දුව සිහිකළ මැනව. ඔබ එය ගැන බලාපොරොත්තුව මා තුළ ඇතිකළ සේක.</verse>
				<verse number="50">ඔබේ පොරොන්දුව මා ප්‍රාණවත් කළ බැවින් මාගේ දුකේ දී එය මාගේ සැනසීම විය.</verse>
				<verse number="51">උඩඟු අය මට අතිශයින් අපහාස කළෝ ය. එහෙත්, මම ඔබේ ව්‍යවස්ථාවෙන් ඉවත් ව නොයන්නෙමි.</verse>
				<verse number="52">සමිඳුනි, ආදියේ සිට පැවති ඔබේ විනිසුම් සිහි කොට සැනසීම ලබා ගතිමි.</verse>
				<verse number="53">ඔබේ ව්‍යවස්ථාව අත්හරින අදමිටුවන් දකින විට මා තුළ කෝපාග්නිය ඇවිළී යයි.</verse>
				<verse number="54">මාගේ මේ ලුහුඬු ජීවිත ගමනේ දී ඔබේ පණත් ගැන ගී ගයමි.</verse>
				<verse number="55">සමිඳුනි, රාත්‍රියේ දී ඔබේ නාමය සිහි කරන්නෙමි; ඔබේ ව්‍යවස්ථාව පිළිපදින්නෙමි.</verse>
				<verse number="56">මේ ආසිරි මට ලැබුණේ, මා ඔබේ නියෝග රක්ෂා කළ නිසා ය.</verse>
				<verse number="57">සමිඳුනි, මාගේ එක ම සම්පත ඔබ ය. ඔබේ නියෝග පවත්වන්නට පොරොන්දු වෙමි.</verse>
				<verse number="58">මාගේ මුළු සිතින් ඔබේ කරුණාව ඉල්ලමි. ඔබේ පොරොන්දුව පරිදි මට කරුණා කළ මැනව.</verse>
				<verse number="59">මම මාගේ හැසිරීම ගැන සිහිකර ඔබේ ශික්ෂා පද දෙසට යළි හැරෙන්නෙමි.</verse>
				<verse number="60">මම ඔබේ ආඥා පිළිපැදීමට පමා නොවී ඉක්මන් වීමි.</verse>
				<verse number="61">දුදනන් මට උගුලක් අටවා ඇත. එහෙත්, මම ඔබේ ව්‍යවස්ථාව අමතක නොකෙළෙමි.</verse>
				<verse number="62">ඔබේ දැහැමි නියෝග නිසා මැදියම් රැයේ ඔබට ස්තුති කරන්න මම අවදි වන්නෙමි.</verse>
				<verse number="63">මම ඔබ කෙරෙහි ගරුබිය ඇති සියල්ලන්ගේ ද ඔබේ නියෝග පවත්වන්නන්ගේ ද මිතුරෙක් වෙමි.</verse>
				<verse number="64">සමිඳුනි, පොළොව ඔබේ තිර පෙමින් පිරී තිබේ. ඔබේ පණත් මට ඉගැන්වුව මැනව.</verse>
				<verse number="65">සමිඳුනි, ඔබේ පොරොන්දුව ප්‍රකාර ඔබේ මෙහෙකරුවාට ඔබ යහපත කළ සේක.</verse>
				<verse number="66">මට තියුණු නැණනුවණ හා දැනුම දුන මැනව. මන්ද, මම ඔබේ ආඥා විශ්වාස කරමි.</verse>
				<verse number="67">පීඩා විඳින්නට පෙර මම මුළා ව ගියෙමි. එහෙත් දැන්, ඔබේ වචනයට කීකරු වෙමි.</verse>
				<verse number="68">ඔබ යහපත් ය; යහපත කරන සේක. ඔබේ පණත් මට ඉගැන්නුව මැනව.</verse>
				<verse number="69">උඩඟු අය මට විරුද්ධ ව බොරු ගොතා ඇත. එහෙත්, මාගේ මුළු සිතින් ඔබේ නියෝගවලට කීකරු වන්නෙමි.</verse>
				<verse number="70">ඔවුන්ට දැඩි සිතක් ඇත; එහෙත් මම, ඔබේ ව්‍යවස්ථාවට ප්‍රිය වෙමි.</verse>
				<verse number="71">පීඩා විඳීම මට යහපතක් විය; එයින් ඔබේ පණත් ඉගෙනගතිමි.</verse>
				<verse number="72">ඔබ වදාළ ව්‍යවස්ථාව මසුරන් දහසකට වඩා මට අගේ ය.</verse>
				<verse number="73">සිය’තින් මා මවා, රක්නා සමිඳුනි, ඔබේ ආඥා ඉගෙනගන්න පිණිස මට නුවණ දුන මැනව.</verse>
				<verse number="74">ඔබ කෙරෙහි ගරුබිය ඇත්තෝ මා දැක සතුටු වන්නෝ ය. මන්ද, මම ඔබේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තුව තබමි.</verse>
				<verse number="75">සමිඳුනි, ඔබේ විනිශ්චයයන් සාධාරණ බවත්, ඔබ විශ්වාසවන්ත නිසා මට පීඩා කළ බවත් දනිමි.</verse>
				<verse number="76">ඔබේ මෙහෙකරුවාට ඔබ පොරොන්දු වූ පරිදි ඔබේ මහ කුළුණු ගුණය මාගේ සැනසීම පිණිස වේ වා!</verse>
				<verse number="77">මා ජීවත් වන පිණිස මට අනුකම්පා කළ මැනව. ඔබේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතිය වේ.</verse>
				<verse number="78">උඩඟු අය අයුතු ලෙස මා හෙළා දැමූ බැවින්, ඔව්හු ලජ්ජාවට පැමිණෙත් වා! එහෙත්, මම ඔබේ නියෝග ගැන භාවනා කරන්නෙමි.</verse>
				<verse number="79">ඔබ කෙරෙහි ගරුබිය ඇත්තෝ මා වෙත හැරී එත් වා! එවිට ඔව්හු ඔබේ ශික්ෂා පද තේරුම්ගන්නෝ ය.</verse>
				<verse number="80">මා පරාජයට පත් නොවන පිණිස ඔබේ පණත් අනුව ජීවත් වන්නට මා හද පිරිසිදු කළ මැනව.</verse>
				<verse number="81">මගේ සිත ඔබේ ගැළවීමට ආශාවෙන් වැහැරී යයි. මම ඔබේ පොරොන්දු කෙරෙහි බලාපොරොත්තු වෙමි.</verse>
				<verse number="82">‘ඔබ කවදා මා සනසන සේක් දැ’යි මම යදින්නෙමි. ඔබේ පොරොන්දු ගැන බලා සිටීමෙන් මාගේ ඇස් වෙහෙස වී ඇත.</verse>
				<verse number="83">ඇකිළී ගිය ලබු කැටයක් මෙන් මම නිසල් වීමි. එහෙත්, ඔබේ පණත් අමතක නොකරමි.</verse>
				<verse number="84">ඔබේ මෙහෙකරුවා තව කොතෙක් කල් බලා සිටින්න ද? මට පීඩා කරන්නන්ට ඔබ කවදා යුක්තිය ඉටු කරන සේක් ද?</verse>
				<verse number="85">ඔබේ ව්‍යවස්ථාව ලෙස නොහැසිරෙන උඩඟු අය මට බොරු වළවල් හෑරුවෝ ය.</verse>
				<verse number="86">ඔබේ ආඥා සියල්ල විශ්වාස කටයුතු ය. මිනිස්සු අයුතු ලෙස මට පීඩා කරති. මට පිහිට වුව මැනව.</verse>
				<verse number="87">ඔවුන් සහමුලින් ම මෙන් මා මිහි පිටින් වනසාදමා ඇත. එහෙත්, මම ඔබේ නියෝග අත් නොහරිමි.</verse>
				<verse number="88">ඔබේ මහා කරුණාව ලෙස මා පණ ගැන්වුව මැනව. එවිට මම, ඔබ වදාළ ශික්ෂා පද පිළිපදින්නෙමි.</verse>
				<verse number="89">සමිඳුනි, ඔබේ වචනය සදාතනික ය; එය තිර ලෙස සගලොව ඇත.</verse>
				<verse number="90">ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවත්නේ ය. ඔබ පොළොව පිහිටෙවු සේක. එය ස්ථිර ව පවතී.</verse>
				<verse number="91">ඔබේ නියමයන් ලෙස ඒ මැවිලි අද දක්වා පවතී. මන්ද, සියල්ල ඔබට මෙහෙ කරයි.</verse>
				<verse number="92">ඔබේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතිය නොවී නම්, මාගේ විපතේ දී මා වැනසෙන්නට ඉඩ තිබුණේ ය.</verse>
				<verse number="93">ඔබේ නියෝග කිසි කලෙක අමතක නොකරන්නෙමි. මන්ද, ඔබ ඒවායින් මා පණ ගැන්වූ සේක.</verse>
				<verse number="94">මම ඔබේ ය; මා මුදාලුව මැනව. ඔබේ නියෝග මම මෙනෙහි කෙළෙමි.</verse>
				<verse number="95">දුෂ්ටයෝ මා විනාශ කරන්නට බලා සිටියෝ ය. එහෙත්, මම ඔබේ ශික්ෂා පද සාවධානයෙන් මෙනෙහි කරන්නෙමි.</verse>
				<verse number="96">හැම යහපතකට ම සීමාවක් ඇති බව මා දැක ඇත. එහෙත්, ඔබේ ආඥාවට නම් සීමාවක් නැත.</verse>
				<verse number="97">ඔබේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේම කරම් ද? එය මාගේ දෛනික භාවනාව වේ.</verse>
				<verse number="98">ඔබේ ආඥා නිතර ම මා සමඟ ය. එයින් මාගේ සතුරන්ට වඩා මම පැණවත් වෙමි.</verse>
				<verse number="99">මාගේ සියලු ඇදුරන්ට වඩා මට නැණනුවණ ඇත්තේ ය. මාගේ භාවනාව ඔබේ ශික්ෂා ගැන ම ය.</verse>
				<verse number="100">මා ඔබේ නියෝග රක්ෂා කළ බැවින් වැඩිහිටියන්ට වඩා තේරුම් පැහැදුම් මට ඇත්තේ ය.</verse>
				<verse number="101">ඔබේ වචනය පිළිපදින පිණිස සියලු වැරදි මාර්ගවලින් මාගේ පාද වළක්වාගතිමි.</verse>
				<verse number="102">ඔබේ නියමයන්ගෙන් ඉවත් ව නොගියෙමි. ඔබ ම මට ඒවා ඉගැන්වූ සේක.</verse>
				<verse number="103">ඔබේ වචන මාගේ දිවට කොපමණ මිහිරි ද? එසේ ය, ඒවා මාගේ කටට මී පැණිවලට වඩා මිහිරි ය.</verse>
				<verse number="104">ඔබේ නියෝග මඟින් මට නැණනුවණ ලැබේ. එබැවින් සියලු වංක මාර්ග මම නුරුස්සන්නෙමි.</verse>
				<verse number="105">ඔබේ වචන මාගේ දෙපයට පහනක් ය; මාගේ මාවතට එළියක් ය.</verse>
				<verse number="106">‘ඔබේ දැහැමි නියමයන් පිළිපදින්නෙමි’යි දිවුළෙමි. මම ඒවා ඉටු කෙළෙමි.</verse>
				<verse number="107">මම බොහෝ සේ පීඩිත වීමි. සමිඳුනි, ඔබේ පොරොන්දු ප්‍රකාර මා ප්‍රාණවත් කළ මැනව.</verse>
				<verse number="108">සමිඳුනි, මාගේ මුවින් පැවසූ සතුටු පූජා පිළිගෙන, ඔබේ නියමයන් මට ඉගැන්නුව මැනව.</verse>
				<verse number="109">ඔබ උදෙසා මාගේ දිවි පිදීමට මම නිතර ම සූදානම් ය. එහෙත්, ඔබේ ව්‍යවස්ථාව මම අමතක නොකරමි.</verse>
				<verse number="110">දුදනෝ මට මලපතක් තැබුවෝ ය. එහෙත් මම, ඔබේ නියෝගවලින් ඉවත් ව නොගියෙමි.</verse>
				<verse number="111">ඔබේ ශික්ෂා පද සදහට ම උරුම කොටගතිමි. ඒවා මසිතට ප්‍රීතිය ගෙන දෙයි.</verse>
				<verse number="112">සදහට ම, මරණය දක්වා ඔබේ පණත් ඉටු කරන්න මාගේ සිත යොමු කෙළෙමි.</verse>
				<verse number="113">චපල සිත් ඇත්තවුන්ට ද්වේෂ කරමි; එහෙත්, ඔබේ ව්‍යවස්ථාවට ප්‍රේම කරමි.</verse>
				<verse number="114">ඔබ මාගේ රක්ෂාස්ථානය වේ, මාගේ පලිහ වේ. ඔබේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තුව තබමි.</verse>
				<verse number="115">දුදනෙනි, මා වෙතින් පලා යන්න. මම මාගේ දෙවිඳුන්ගේ ආඥාවන් පිළිපදිමි.</verse>
				<verse number="116">මා ජීවත් වන පිණිස ඔබේ පොරොන්දු ප්‍රකාර මට ශක්තිය දුන මැනව. මාගේ බලාපොරොත්තුව කඩ වීමෙන් ලජ්ජා වන්නට ඉඩ නෑරිය මැනව.</verse>
				<verse number="117">මට අනුබල දුන මැනව; එවිට මම සුරැකි ව සිටින්නෙමි. ඔබේ පණත් නිතර ම සලකන්නෙමි.</verse>
				<verse number="118">ඔබේ පණත්වලින් ඉවත් ව යන සියල්ලන් ඔබ පිළිකෙව් කළ සේක. ඔවුන්ගේ කපටිකම නිෂ්ඵල ය.</verse>
				<verse number="119">ඔබ පොළොවේ සියලු දුෂ්ටයන් කුණු කසළ මෙන් පහකරන සේක. එබැවින් මම ඔබේ ශික්ෂා පදවලට ප්‍රේම කරමි.</verse>
				<verse number="120">ඔබට බියෙන් මාගේ ගත සිත වෙවුලයි. ඔබේ විනිශ්චයයන්ට මම බිය වෙමි.</verse>
				<verse number="121">යුතු දේ ද දැහැමි දේ ද මම කෙළෙමි; මට පීඩා කරන්නන් අතට මා භාර නොකළ මැනව.</verse>
				<verse number="122">ඔබේ මෙහෙකරුවාට යහපත කරන බවට පොරොන්දු වන්න. මට පීඩා කිරීමට උඩඟු අයට ඉඩ නුදුන මැනව.</verse>
				<verse number="123">ඔබ දෙන ගැළවීම හා ඔබේ දැහැමි පොරොන්දුව ගැන අවදි ව සිටීමෙන් මාගේ ඇස් වෙහෙස වී ඇත.</verse>
				<verse number="124">ඔබේ ප්‍රේමය අනුව ඔබේ මෙහෙකරුවාට නිසි ලෙස සලකන්න. ඔබේ පණත් මට උගන්වන්න.</verse>
				<verse number="125">මම ඔබේ මෙහෙකරුවා වෙමි. ඔබේ ශික්ෂා පද දැනගන්න පිණිස මට නැණනුවණ දුන මැනව.</verse>
				<verse number="126">සමිඳුනි, ඔබට ක්‍රියා කිරීමට සුදුසු කාලය දැන් පැමිණ ඇත. සෙනඟ ඔබේ ව්‍යවස්ථාව කඩකර ඇත.</verse>
				<verse number="127">එබැවින් රනට වඩා, එසේ ය, පෙරූ රනට වඩා ඔබේ ආඥාවලට මම ප්‍රේම කරමි.</verse>
				<verse number="128">එබැවින් ඔබේ නියමය අනුව මම හැසිරෙන්නෙමි; සියලු වංක මාර්ග නුරුස්සමි.</verse>
				<verse number="129">ඔබේ අණපණත් විස්මයජනක ය. එබැවින් මාගේ මුළු සිතින් මම ඒවා පිළිපදින්නෙමි.</verse>
				<verse number="130">ඔබේ වචන පැහැදිලි වන විට ආලෝකය ලැබේ. එයින් අනුවණයන්ට නුවණ ලැබේ.</verse>
				<verse number="131">ඔබේ ආඥාවලට පිපාසයෙන් සිටිමි. මම මුව අයා හතිලන්නෙමි.</verse>
				<verse number="132">ඔබේ නාමයට ප්‍රේම කරන අයට ඔබ කරුණා කරන්නාක් මෙන් මා දෙසට හැරී මට කරුණා කළ මැනව.</verse>
				<verse number="133">ඔබ පොරොන්දු වූ ලෙස මා දෙපා තර කළ මැනව; කිසි අයුක්තියකට මා කෙරෙහි බල පෑමට ඉඩ නුදුන මැනව.</verse>
				<verse number="134">මිනිසුන්ගේ හිරිහැරවලින් මා මුදාලුව මැනව; එවිට ඔබේ නියෝග මම පිළිපදින්නෙමි.</verse>
				<verse number="135">දයාවෙන් මා දෙස බැලුව මැනව; ඔබේ පණත් මට ඉගැන්නුව මැනව.</verse>
				<verse number="136">මිනිසුන් ඔබේ ව්‍යවස්ථාව නොපිළිපදින බැවින් මාගේ දෑසින් කඳුළු ධාරා ගලා යයි.</verse>
				<verse number="137">සමිඳුනි, ඔබ දැහැමි ය; ඔබේ විනිසුම් සාධාරණ ය.</verse>
				<verse number="138">ඔබ දැහැමිකමින් ද තිර විශ්වාසකමින් ද ඔබේ ශික්ෂා පද නියම කළ සේක.</verse>
				<verse number="139">මාගේ එදිරිකරුවන් ඔබේ වචනය නොසලකන නිසා මම කෝපාග්නියෙන් දැවෙමි.</verse>
				<verse number="140">ඔබේ පොරොන්දු සහතික ය. එබැවින් ඔබේ මෙහෙකරුවා ඒවාට ප්‍රේම කරයි.</verse>
				<verse number="141">මම සුළු කෙනෙක්මි; හීන දීන කෙනෙක්මි. එහෙත්, ඔබේ නියෝග අමතක නොකරමි.</verse>
				<verse number="142">ඔබේ දැහැමිතාව සදාකාලික දැහැමිතාවක් වේ; ඔබේ ව්‍යවස්ථාව ද සත්‍ය වේ.</verse>
				<verse number="143">විපත හා සිත් තැවුල් මා වෙළාගෙන තිබේ. එහෙත්, ඔබේ ආඥා මාගේ ප්‍රීතිය වේ.</verse>
				<verse number="144">ඔබේ ශික්ෂා පද සදහට ම දැහැමි ය. මා ජීවත් වන පිණිස මට නැණනුවණ දුන මැනව.</verse>
				<verse number="145">මම මුළු හදවතින් යාච්ඤා කෙළෙමි. සමිඳුනි, මට පිළිතුරු දුන මැනව. ඔබේ අණපණත් මම පිළිපදින්නෙමි.</verse>
				<verse number="146">මම ඔබට අඬගැසීමි; මා මුදාලුව මැනව. එවිට ඔබේ ශික්ෂා පද මම පිළිපදින්නෙමි.</verse>
				<verse number="147">මම අලුයමට පෙර නැඟිට මොරගැසීමි; ඔබේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තු වීමි.</verse>
				<verse number="148">ඔබේ පොරොන්දුව ගැන භාවනා කරන පිණිස රෑ යාමය මුළුල්ලේ මම අවදි ව සිටිමි.</verse>
				<verse number="149">ඔබේ ප්‍රේමය ස්ථිර නිසා මාගේ හඬ ඇසුව මැනව. සමිඳුනි, ඔබේ යුක්තිය ලෙස මා දිවි රැකගත මැනව.</verse>
				<verse number="150">නපුරු අරමුණු ඇති ව මට පීඩා කරන දුදනෝ මට ළඟා වෙති. ඔව්හු ඔබේ ව්‍යවස්ථාවෙන් ඈත් ව සිටිති.</verse>
				<verse number="151">සමිඳුනි, ඔබ ළඟා වී සිටින සේක. ඔබේ සියලු ආඥා සත්‍ය ය.</verse>
				<verse number="152">ඔබේ ශික්ෂා පද කලක සිට දැන සිටියෙමි. ඔබ ඒවා සදහට ම පැණවූ සේක.</verse>
				<verse number="153">මාගේ දුක බලා මා ගැළෙවුව මැනව. ඔබේ ව්‍යවස්ථාව මම අමතක නොකෙළෙමි.</verse>
				<verse number="154">මාගේ නඩුව අසා මා මිදුව මැනව; ඔබේ පොරොන්දුව ලෙස මට නව දිවියක් දුන මැනව.</verse>
				<verse number="155">දුදනන් හට ගැළවීමක් නැත; ඔව්හු ඔබේ පණත් නොසලකති.</verse>
				<verse number="156">සමිඳුනි, ඔබේ අනුකම්පාව ඉමහත් ය. ඔබේ නියමයන් ලෙස මට නව දිවියක් දුන මැනව.</verse>
				<verse number="157">මට පීඩා කරන්නෝ ද මාගේ එදිරිකාරයෝ ද බොහෝ ය. එහෙත් මම, ඔබේ ශික්ෂා පදවලින් ඉවත් ව නොගියෙමි.</verse>
				<verse number="158">ද්‍රෝහිකම් කරන්නන් දැක මම ඔවුන් පිළිකුල් කෙළෙමි. ඔව්හු ඔබේ නියමයන් නොපිළිපදිති.</verse>
				<verse number="159">ඔබේ නියෝගවලට මා ප්‍රේම කරන හැටි සිතා බැලුව මැනව. සමිඳුනි, ඔබේ පෙම තිර නිසා මට නව දිවියක් දුන මැනව.</verse>
				<verse number="160">ඔබේ ව්‍යවස්ථාවේ හරය සත්‍යය වේ. ඔබේ සියලු දැහැමි විනිසුම් සදහට පවත්නේ ය.</verse>
				<verse number="161">අධිපතීහු නිකරුණේ මට පීඩා කළෝ ය. එහෙත් මම, ඔබේ ව්‍යවස්ථාවට ගරු කරමි.</verse>
				<verse number="162">මහා නිධානයක් ලබන කෙනෙකු මෙන් මම ඔබේ පොරොන්දුව ගැන ප්‍රීතිමත් වෙමි.</verse>
				<verse number="163">මුසාවට ද්වේෂ කරමි; එය පිළිකුල් කරමි. එහෙත්, ඔබේ ව්‍යවස්ථාවට ප්‍රේම කරමි.</verse>
				<verse number="164">ඔබේ දැහැමි විනිශ්චයයන් නිසා දවසට සත් වරක් මම ඔබට ප්‍රශංසා කරමි.</verse>
				<verse number="165">ඔබේ ව්‍යවස්ථාවට ප්‍රේම කරන්නන්ට ඉමහත් සාමයක් ඇත. කිසි අවහිරයක් ඔවුන්ට නැත.</verse>
				<verse number="166">සමිඳුනි, ඔබේ ගැළවීම ගැන උදක් ම බලා සිටිමි. ඔබේ ආඥා ඉටු කෙළෙමි.</verse>
				<verse number="167">මම ඔබේ ශික්ෂා පද පිළිපැදීමි. මම ඒවාට බොහෝ සෙයින් ප්‍රේම කරමි.</verse>
				<verse number="168">මම ඔබේ නියෝග හා ශික්ෂා පද පිළිපැදීමි. මාගේ දිවි මඟ ඔබ ඉදිරියෙහි ය.</verse>
				<verse number="169">සමිඳුනි, මාගේ මොරගැසීම ඔබ ඉදිරියට පැමිණේ වා! ඔබේ පොරොන්දුව අනුව මට නැණනුවණ දුන මැනව.</verse>
				<verse number="170">මාගේ අයැදීම ඔබ ඉදිරියට පැමිණේ වා! ඔබේ පොරොන්දුව ලෙස මා මිදුව මැනව.</verse>
				<verse number="171">ඔබේ පණත් ඔබ මට උගන්වන බැවින් මා මුව ඔබට පැසසුම් ගී පිළිරැව් දේ වා!</verse>
				<verse number="172">ඔබේ සියලු ආඥා සාධාරණ ය; මම ඔබේ ව්‍යවස්ථාව ගැන ගී ගයමි.</verse>
				<verse number="173">ඔබේ හස්තය මට උපකාර පිණිස සූදානම් වේ වා! මම ඔබේ නියෝග අනුව යමි.</verse>
				<verse number="174">සමිඳුනි, මම ඔබ දෙන ගැළවීමට ආසා වෙමි. ඔබේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතිය වේ.</verse>
				<verse number="175">ඔබට ප්‍රශංසා කරන පිණිස මට ජීවත් වන්නට ඉඩ දුන මැනව. ඔබේ නියමයෝ මට උපකාරවත් වෙත් වා!</verse>
				<verse number="176">නැති වූ බැටළුවෙකු මෙන් මම මුළා ව ගියෙමි. ඔබේ මෙහෙකරුවා වන මා සොයා එනු මැනව. මම ඔබේ ආඥා අමතක නොකරමි.</verse>
			</chapter>
			<chapter number="120">
				<verse number="1">මාගේ විපතේ දී මම සමිඳුන්ට මොරගැසීමි. එතුමාණෝ මට උත්තර දුන් සේක.</verse>
				<verse number="2">සමිඳුනි, බොරුකාර තොල්වලින් ද වංචාකාර දිවෙන් ද මා ගැළෙවුව මැනව.</verse>
				<verse number="3">එම්බා වංචාකාරයෙනි! දෙවිඳුන් ඔබට කුමක් කළ යුතු ද? කුමන දඬුවමක් දිය යුතු ද?</verse>
				<verse number="4">දිළෙන ගිනි අඟුරු ද හේවායාගේ තියුණු ඊගස් ද ඔබ පිට පැමිණේ වා!</verse>
				<verse number="5">මෙෂෙක්හි විදේශී ව සිටීම ද කේදාර්හි කූඩාරම් මැද වාසය කිරීම ද මට දුකක් ය.</verse>
				<verse number="6">සාමයට ද්වේෂ කරන්නා සමඟ මම බොහෝ කල් වාසය කෙළෙමි.</verse>
				<verse number="7">මම සාමය සොයන්නෙමි; එහෙත්, ඒ ගැන කතා කරන විට ඔව්හු සටනට සැරසෙති.</verse>
			</chapter>
			<chapter number="121">
				<verse number="1">කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි. මට පිහිට ලැබෙන්නේ කොතැනින් ද?</verse>
				<verse number="2">මට පිහිට ලැබෙන්නේ සමිඳාණන්ගෙන් ම ය. අහස පොළොව මැවූ සමිඳාණන්ගෙන් ම ය.</verse>
				<verse number="3">එතුමාණෝ ඔබ පය පැකිළෙන්නට ඉඩ නොදෙන සේක. අවදි ව සිටිමින් ඔබ නිතින් රැක බලාගන්න සේක.</verse>
				<verse number="4">ඉශ්රායෙල් ජාතියේ රැකවරණයාණන් හට නිදි බරවීමක් වත්, නිදාගැනීමක් වත් නැත්තේ ය.</verse>
				<verse number="5">සමිඳාණෝ ඔබ රක්නා උත්තමයාණෝ ය. සමිඳාණෝ ඔබ දකුණත සිට ඔබට රැකවරණය දෙන සේක.</verse>
				<verse number="6">දවාලේ හිරු ඔබට පීඩා නොකරන්නේ ය. රාත්‍රියේ සඳ ඔබට පීඩා නොකරන්නේ ය.</verse>
				<verse number="7">සමිඳාණෝ සියලු නපුරෙන් ඔබ රැකගන්න සේක; ඔබේ ජීවිතය රැකවල් කරන සේක.</verse>
				<verse number="8">මෙතැන් සිට සදාකාලයෙන් සදාකාලයට සමිඳාණෝ, ඔබේ යාම ඊම ආරක්ෂා කරන සේක.</verse>
			</chapter>
			<chapter number="122">
				<verse number="1">දාවිත් විසිනි. “දෙව් මැදුරට යමු”යි ඔවුන් මට කී විට මම ප්‍රීතියෙන් පිනා ගියෙමි.</verse>
				<verse number="2">එම්බා ජෙරුසලම! අපේ දෙපා තිගේ වාසල ඇතුළේ තබා තිබේ.</verse>
				<verse number="3">එම්බා ජෙරුසලම! මැනවින් සදා නිම කළ නුවරක් මෙන් තී ගොඩනඟන ලද්දී ය.</verse>
				<verse number="4">ඉශ්රායෙල් සෙනඟට නියම කළ ලෙස ගෝත්‍රයෝ, සමිඳුන්ගේ ගෝත්‍රයෝ, එතුමන් නමට තුති දෙන පිණිස මෙම නගරය වෙත පැමිණෙති.</verse>
				<verse number="5">මන්ද, සිංහාසනය, එනම්, දාවිත්ගේ සිංහාසනය සෙනඟ විනිශ්චය කරන පිණිස එහි පිහිටා තිබේ.</verse>
				<verse number="6">ජෙරුසලමේ සාමය උදෙසා අයැදුම් පුදන්න; තිට ප්‍රේම කරන්නෝ දියුණු වෙත් වා!</verse>
				<verse number="7">තිගේ පවුරු තුළ සාමය බැබළේ වා! තිගේ මාලිගා තුළ සුරැකිතාව පවතී වා!</verse>
				<verse number="8">මාගේ නෑ මිතුරන් නිසා මම මෙසේ කියමි: “ජෙරුසලම තුළ සාමදානය වේ වා!”</verse>
				<verse number="9">අපේ දෙව් සමිඳුන්ගේ මාලිගාව නිසා මම තිගේ යහපත සොයන්නෙමි.</verse>
			</chapter>
			<chapter number="123">
				<verse number="1">සගලොව වැඩ වසන සමිඳුනි ඔබ දෙස මාගේ ඇස් ඔසවමි.</verse>
				<verse number="2">බලව, දාසයෙකුගේ ඇස් සිය ස්වාමියාගේ අත දෙසත්, දාසියකගේ ඇස් සිය ස්වාමි දුවගේ අත දෙසත් යොමු වී තිබෙන්නාක් මෙන්, අපේ දෙවිඳාණන්ගේ කරුණාව අප වෙත පහළ වන තෙක්, අපේ දෑස එතුමාණන් දෙස යොමා තිබේ.</verse>
				<verse number="3">සමිඳුනි, අපට කරුණා කළ මැනව; අපට කරුණා කළ මැනව. මන්ද, අපි අධික ලෙස නින්දාවට ලක් වී සිටියෙමු.</verse>
				<verse number="4">සුව පහසු ලබමින් සිටින අයගේ උපහාසයටත්, අහංකාරීන්ගේ නින්දාවටත් අපි බොහෝ කල් ලක් වී සිටියෙමු.</verse>
			</chapter>
			<chapter number="124">
				<verse number="1">දාවිත් විසිනි. ඉශ්රායෙල් මෙසේ කියත් වා! “අපේ පැත්තට සමිඳාණෝ නොසිටි සේක් නම්,</verse>
				<verse number="2">අපට විරුද්ධ ව සතුරන් නැඟිට ආ කල, අපේ පැත්තට සමිඳාණෝ නොසිටි සේක් නම්,</verse>
				<verse number="3">ඔවුන්ගේ උදහස අපට විරුද්ධ ව ඇවුළුණු කල, අප පණපිටින් ගිල ගන්නට ඔවුන්ට ඉඩ තිබිණි.</verse>
				<verse number="4">එවිට ජලයෙන් අප වැසී යන්නට ඉඩ තිබිණි; දිය දහරින් අප යට කොට ගසාගෙන යන්නට ඉඩ තිබිණි.</verse>
				<verse number="5">සැඬ ජල කඳ අප යට කොට ගසාගෙන යන්නට ඉඩ තිබිණි.</verse>
				<verse number="6">අපේ සතුරන්ට අප ගොදුරු වීමට ඉඩ නුදුන් සමිඳාණන්ට ප්‍රශංසා වේ වා!</verse>
				<verse number="7">පක්ෂි වැද්දාගේ උගුලෙන් ගැළවී යන පක්ෂියෙකු මෙන් අපි මිදුණෙමු; උගුල බිඳී ගියේ ය. අපි ගැළවුණෙමු.</verse>
				<verse number="8">අපේ පිහිටට ඇත්තේ, අහසත්, පොළොවත් මැවූ සමිඳුන්ගේ නාමය ය.”</verse>
			</chapter>
			<chapter number="125">
				<verse number="1">සමිඳුන් විශ්වාස කරන්නෝ සියොන් කන්ද මෙන් අචල ය, සදාකාලික ය.</verse>
				<verse number="2">ජෙරුසලම සිසාරා කඳු වැටි ඇත්තාක් මෙන් සමිඳාණෝ සිය සෙනඟ සිසාරා දැනටත්, සදහටත් වැඩ සිටින සේක.</verse>
				<verse number="3">අදමිටු අය දමිටු අයගේ දේශය සදා පාලනය නොකරති. එසේ කළොත්, දමිටු අය වුව ද අදමිටු දේ කිරීමට පෙළඹෙන්නෝ ය.</verse>
				<verse number="4">සමිඳුනි, යහපත් අයට යහපත කළ මැනව; අවංක සිත් ඇත්තන්ටත් එසේ ම කළ මැනව.</verse>
				<verse number="5">එහෙත්, වංක මාර්ගවලට හැරී යන්නන්ට ඔබ දඬුවම් කරන්නාක් මෙන් සමිඳුන්ට විරුද්ධ ව අයුතුකම් කරන්නන්ට ද දඬුවම් කළ මැනව. ඉශ්රායෙල් ජනතාවට සාමය වේ වා!</verse>
			</chapter>
			<chapter number="126">
				<verse number="1">සමිඳුන් අප මුදා සියොනට ගෙනා කල, අපට එය සිහිනයක් මෙන් විය.</verse>
				<verse number="2">එවිට අපි සිනාවෙන් ඉපිලී ගියෙමු; ප්‍රීතියෙන් ගී ගායනා කෙළෙමු. එවිට, “සමිඳාණෝ මොවුන් උදෙසා ඉමහත් දේ කළ සේකැ”යි විජාතීහු කියන්නට ගත්හ.</verse>
				<verse number="3">සමිඳාණෝ අප උදෙසා ඉමහත් දේ කළ සේක; එබැවින් අපි සන්තෝෂ වමු.</verse>
				<verse number="4">
					සමිඳුනි, අපේ සිරකරුවන් දකුණු දිශාවේ ගලා යන ඇල දොළ මෙන් අපට යළි ගෙන දුන මැනව.
				</verse>
				<verse number="5">දුකින් කෙත වපුරන්නෝ තුටින් අස්වැන්න නෙළාගන්නෝ ය.</verse>
				<verse number="6">ඔව්හු වී මලු රැගෙන කඳුළු සල සලා පිටත් ව ගිය නමුත්, තම ගොයම් මිටි රැගෙන ප්‍රීතියෙන් පින පිනා ආපසු ආහ.</verse>
			</chapter>
			<chapter number="127">
				<verse number="1">සමිඳාණෝ ගෙය නොසාදන සේක් නම්, එය ඉදි කරන්නෝ නිකරුණේ වෙහෙසෙති. සමිඳාණෝ නගරය රැක බලා නොගන්න සේක් නම්, මුරකරුවෝ නිකරුණේ පිබිද සිටිති.</verse>
				<verse number="2">උදයෙන් ම නැඟිට රෑ බෝ වී නින්දට යාම ද ආහාර සැපයීමට පමණ ඉක්මවා වෙහෙසවීම ද නිෂ්ඵල ය. මන්ද, සමිඳුන්ට ප්‍රේම කරන අයට වුවමනා දේ එතුමාණෝ සපයා දෙන සේක.</verse>
				<verse number="3">දරු සම්පත සමිඳාණන්ගෙන් ලැබෙන දායාදයකි; ඒ සම්පත එතුමන්ගෙන් ලැබෙන ඉමහත් ආශීර්වාදයකි.</verse>
				<verse number="4">හේවායෙකුගේ අතෙහි ඊගස යම් සේ ද තරුණ වියේ මවුපියන්ගේ දරුවෝ ද එසේ ම ය.</verse>
				<verse number="5">එවැනි ඊගසින් පිරුණු කොපුව ඇති මිනිසා වාසනාවන්තයෙකි. ඔව්හු උසාවියේ දී සතුරන් සමඟ නඩු කියන විට පරාජයට පත් නොවන්නෝ ය.</verse>
			</chapter>
			<chapter number="128">
				<verse number="1">සමිඳුන් කෙරෙහි ගරුබිය ඇති, එතුමන්ගේ මාර්ගයෙහි හැසිරෙන සියල්ලෝ භාග්‍යවන්තයෝ ය.</verse>
				<verse number="2">මන්ද, ඔබේ ශ්‍රම ශක්තියේ ප්‍රතිඵලය ඔබ භුක්ති විඳින්නෙහි ය. ඔබ වාසනාවන්ත ය; ඔබට ශුභසිද්ධ වන්නේ ය.</verse>
				<verse number="3">ඔබේ බිරිඳ ඔබේ නිවෙස තුළ පල දෙන මිදිවැලක් මෙන් වන්නී ය. ඔබේ දරුවෝ ඔබේ මේසය වටා ඔලීව පැල මෙන් වන්නෝ ය.</verse>
				<verse number="4">සමිඳුන් කෙරෙහි ගරුබිය දක්වන්නා මෙසේ ආසිරි ලබන්නේ ය.</verse>
				<verse number="5">සමිඳාණෝ සියොන්හි සිට ඔබට ආශීර්වාද කරන සේක් වා! ඔබේ මුළු ජීවිත කාලයේ දී ජෙරුසලමේ සුබ සෙත ඔබට දක්නට ලැබේ වා!</verse>
				<verse number="6">ඔබේ දරු මුණුබුරන් දකින්නට ලැබේ වා! ඉශ්රායෙල් සෙනඟට සාමය වේ වා!</verse>
			</chapter>
			<chapter number="129">
				<verse number="1">ඉශ්රායෙල් දැන් මෙසේ කියත් වා: “මාගේ තරුණ වයසේ පටන් සතුරෝ බොහෝ වර මට පීඩා කළෝ ය.</verse>
				<verse number="2">මාගේ තරුණ වයසේ පටන් සතුරෝ බොහෝ වර මට පීඩා කළෝ ය. එහෙත්, මාගෙන් ජය නොගත්තෝ ය.</verse>
				<verse number="3">කුඹුරක් සීසාන්නාක් මෙන් ඔව්හු මාගේ පිට ගැඹුරට හාරා තුවාළ කළෝ ය.</verse>
				<verse number="4">එහෙත්, සමිඳාණෝ ධර්මිෂ්ඨ ය; එතුමාණෝ දුෂ්ටයන්ගේ වහල් බැමිවලින් මා මුදා හරින සේක.”</verse>
				<verse number="5">සියොන්ට ද්වේෂ කරන සියල්ලෝ ලජ්ජා වී පලා යත් වා!</verse>
				<verse number="6">ඔව්හු වැඩෙන්නට පළමුවෙන් වියළී යන, පියස්ස පිට ඇති තෘණ මෙන් වෙත් වා!</verse>
				<verse number="7">කපන්නා එයින්, අත පිරෙන මිටියක් වත්, මිටි බඳින්නා ළය පුරවන මිටියක් වත් නොගන්නේ ය.</verse>
				<verse number="8">“සමිඳුන්ගේ ආශීර්වාද ඔබට වේ වා! සමිඳුන්ගේ නාමයෙන් අපි ඔබට ආශීර්වාද කරමු”යි මඟ යන කිසිවෙක් ඔවුන්ට නොකියන්නෝ ය.</verse>
			</chapter>
			<chapter number="130">
				<verse number="1">සමිඳුනි, දුක් සයුරේ සිට මම ඔබට මොරගසමි.</verse>
				<verse number="2">සමිඳුනි, මාගේ හඬට සවන් දුන මැනව, මාගේ කන්නලව්වට ඔබේ කන් යොමු කළ මැනව.</verse>
				<verse number="3">සමිඳුනි, ඔබ අපේ අයුතුකම් සටහන් කර තබන සේක් නම්, විනිශ්චයයෙන් බේරෙන්නට පුළුවන් කවරෙකුට ද?</verse>
				<verse number="4">එහෙත්, ඔබ කෙරෙහි ගරුබියෙන් සිටින පිණිස ඔබ අපට කමාව දෙන සේක.</verse>
				<verse number="5">මම සමිඳුන්ගේ උපකාරය උදක් ම බලා සිටිමි. එතුමන්ගේ වචනය කෙරෙහි බලාපොරොත්තුව තබමි.</verse>
				<verse number="6">පහන් වන තුරු බලා සිටින මුරකරුන්ට වඩා, එසේ ය, එළිය වැටෙන තුරු බලා සිටින මුරකරුන්ට වඩා මම සමිඳුන් එන තුරු බලා සිටිමි.</verse>
				<verse number="7">එම්බා ඉශ්රායෙල් ජනයෙනි! සමිඳුන් කෙරෙහි බලාපොරොත්තු වන්න. මන්ද, සමිඳුන්ගේ ප්‍රේමය තිරසර ය. ගැළවීම මුළුමනින් ම එතුමන් අතෙහි ය.</verse>
				<verse number="8">
					එතුමාණෝ ඉශ්රායෙල් ජනයා ඔවුන්ගේ පාප සියල්ලෙන් මුදා හරින සේක.
				</verse>
			</chapter>
			<chapter number="131">
				<verse number="1">සමිඳුනි, මාගේ සිත තුළ අහංකාරයක් නැත. උදාරම් ලෙස මම ඇස් නොඔසවමි. වඩා උසස් දේ ගැන වත්, මාගේ තරම ඉක්මවා යන දේ ගැන වත් මම කරදර නොවෙමි.</verse>
				<verse number="2">ඒ වෙනුවට මම ලද දෙයින් නිහතමානී ව සැනසී සිටිමි. මවු තුරුල්ලේ සංසුන් ව සිටින ළදරුවෙකු සේ මා තුළ මාගේ සිත සංසුන් වී ඇත.</verse>
				<verse number="3">එම්බා ඉශ්රායෙල්වරුනි! මෙතැන් පටන් සදහට ම සමිඳුන් කෙරෙහි බලාපොරොත්තු වන්න.</verse>
			</chapter>
			<chapter number="132">
				<verse number="1">සමිඳුනි, දාවිත් වින්ද දුක් කරදර සියල්ල ඔහුගේ යහපත උදෙසා සිහිකළ මැනව.</verse>
				<verse number="2">ඔහු සමිඳුන්ට දිවුරමින්, ජාකොබ්ගේ පරාක්‍රමයාණන් වහන්සේට පොරොන්දු වෙමින් කී මේ දේ සිහි කළ මැනව:</verse>
				<verse number="3">“මාගේ නිවෙස තුළට වත්, මාගේ යහනට වත් මම නොයන්නෙමි;</verse>
				<verse number="4">මම විවේකය නොගනිමි; දෑස පියා නොගනිමි.</verse>
				<verse number="5">සමිඳුන්ට වාසස්ථානයක් සොයන තුරු, ජාකොබ්ගේ පරාක්‍රමයාණන් වහන්සේට මණ්ඩපයක් සපයන තුරු මම එසේ කරන්නෙමි.”</verse>
				<verse number="6">
					බෙත්ලෙහෙමේ දී ගිවිසුම් කරඬුව ගැන ඇසුවෙමු.
					වන ලැහැබ් තුළ එය අපට සම්බ විය.
				</verse>
				<verse number="7">අපි එතුමන්ගේ මණ්ඩපවලට යන්නෙමු; එතුමන්ගේ පාපුටුව ළඟ නමස්කාර කරන්නෙමු.</verse>
				<verse number="8">සමිඳුනි, නැඟිට ඔබේ බල මහිමයේ සංකේතය වන ගිවිසුම් කරඬුව ඇති ව, ඔබේ විශ්‍රාම ස්ථානයට වැඩිය මැනව.</verse>
				<verse number="9">ඔබේ පූජකයෝ දැහැමිකමින් සැරසෙත් වා! ඔබේ සැදැහැවත්හු තුති ගොස කරත් වා!</verse>
				<verse number="10">ඔබේ මෙහෙකරු වූ දාවිත්ට දුන් පොරොන්දුව පරිදි ඔබේ අභිෂේක ලත් තැනැත්තා පිළිකෙව් නොකළ මැනව.</verse>
				<verse number="11">
					සමිඳාණෝ සැබැවින් ම දාවිත්ට මෙලෙස දිවුළ සේක:
					“නුඹේ ම කුමරෙකු නුඹේ සිහසුනට පත් කරන්නෙමි.
				</verse>
				<verse number="12">නුඹේ පුත්‍රයෝ මාගේ ගිවිසුම ද මා ඔවුන්ට උගන්වන ශික්ෂා පද ද රක්ෂා කරන්නෝ නම්, ඔවුන්ගේ පුත්‍රයෝත් නුඹේ සිහසුන අරා සදාකල් හිඳගන්නෝ ය,”</verse>
				<verse number="13">සමිඳාණෝ සියොන් තෝරාගත් සේක. සිය වාසභවනය ලෙස ඊට කැමැති වූ සේක.</verse>
				<verse number="14">මෙය සදාකල් ම මාගේ වාසස්ථානය වේ. මම මෙහි වැඩ වසන්නෙමි; මම ඊට කැමැති වෙමි.</verse>
				<verse number="15">සියොන්හි වැසියන්ට ආහාර බහුලත්වයෙන් මම ආසිරි දෙන්නෙමි; එහි දුප්පතුන් කෑමෙන් තෘප්තියට පමුණුවන්නෙමි.</verse>
				<verse number="16">එහි පූජකයන් ගැළවීමේ සළුවෙන් සරසන්නෙමි. එහි සැදැහැවත්හු තුති ගොස කරන්නෝ ය.</verse>
				<verse number="17">
					එහි දාවිත්ගෙන් පැවැතෙන්නෙකු බලවත් රජෙකු කරන්නෙමි.
					මාගේ අභිෂේක ලත් තැනැත්තාට පහනක් මෙන් දිළෙන්නට සලසන්නෙමි.
				</verse>
				<verse number="18">ඔහුගේ සතුරන් ලජ්ජාවට පත් කරන්නෙමි. එහෙත්, ඔහු මත ඔහුගේ කිරුළ බබළන්නේ ය.</verse>
			</chapter>
			<chapter number="133">
				<verse number="1">සහෝදරයන් මෙන් එක් ව විසීම කෙතරම් ප්‍රියංකර ද? කෙතරම් යහපත් ද?</verse>
				<verse number="2">එය, ආරොන්ගේ හිස පිට වත් කරන ලද, ඔහුගේ රැවුල දිගේ කර පටිය දක්වා ගලා ගිය අනගි තෙලක් මෙන් පැතිර යන්නෙකි.</verse>
				<verse number="3">එය, සියොන් ගිර මත වැටෙන හෙර්මොන් කන්දේ පිනි හා සමාන ය. මන්ද, සමිඳාණෝ ඊට ආශීර්වාද කරන සේක. එනම්, සදාකාල ජීවනය ඊට දානය කළ සේක.</verse>
			</chapter>
			<chapter number="134">
				<verse number="1">රෑ කාලේ සමිඳුන්ගේ මාලිගාවේ සිටින සමිඳුන්ගේ සියලු මෙහෙකරුවෙනි, සමිඳුන්ට ප්‍රශංසා කරන්න.</verse>
				<verse number="2">ශුද්ධස්ථානය දෙසට අත් ඔසවා, සමිඳුන්ට ප්‍රශංසා කරන්න.</verse>
				<verse number="3">සමිඳාණෝ, එසේ ය, අහසත් පොළොවත් මැවූ තැනැන් වහන්සේ, සියොන් සිට ඔබට ආශීර්වාද කරන සේක් වා!</verse>
			</chapter>
			<chapter number="135">
				<verse number="1">සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සමිඳුන්ගේ මෙහෙකරුවෙනි, සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා කරන්න.</verse>
				<verse number="2">සමිඳුන්ගේ මාලිගාවෙහි, අපේ දෙවිඳුන්ගේ මාලිගාවෙහි මණ්ඩපවල සිටින්නෙනි, එතුමන්ට ප්‍රශංසා කරන්න.</verse>
				<verse number="3">සමිඳුන්ට ප්‍රශංසා කරන්න. එතුමාණෝ යහපත් ය. එතුමාණෝ කරුණාබර වන සේක. එතුමන්ගේ නාමයට ගී ගයන්න;</verse>
				<verse number="4">සමිඳාණෝ තමන්ට ම ජාකොබ්ගේ පෙළපත ද තමන්ගේ විශේෂ උරුමය කොට ඉශ්රායෙල් සෙනඟ ද තෝරාගත් සේක.</verse>
				<verse number="5">සමිඳාණන් අති උතුම් බවත්, වෙනත් සියලු දෙවිවරුන්ට වඩා අපේ සමිඳාණන් උසස් බවත් දනිමි.</verse>
				<verse number="6">සමිඳාණෝ, යමක් කරන්නට කැමැති සේක් නම්, අහසෙහි ද පොළොවෙහි ද මුහුදුවල සහ හැම ගැඹුරු තැන්වල ද එය ඉටු කරන සේක.</verse>
				<verse number="7">එතුමාණෝ දෙරණ සීමාවෙන් වලාකුළු නංවන සේක; වර්ෂාව සඳහා විදුලිය හටගන්වන සේක; සිය ගබඩාවලින් සුළඟ නික්මවන සේක;</verse>
				<verse number="8">එතුමාණෝ මිසර වැසියන්ගේත්, මෘගයන්ගේත් කුලුඳුලන්ට පහර දුන් සේක.</verse>
				<verse number="9">එම්බා මිසරය! තී මැදට, පාරාවෝට සහ ඔහුගේ සියලු මෙහෙකරුවන්ට එරෙහි ව එතුමාණෝ අරුමපුදුම දේ හා හාස්කම් පැමිණෙවු සේක.</verse>
				<verse number="10">එතුමාණෝ බොහෝ විජාතීන්ට පහර දී, බලවත් රජුන් ඝාතනය කළ සේක.</verse>
				<verse number="11">අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් ද බාෂාන්හි රජ වූ ඕග් ද කානාන්හි සියලු රාජ්‍යයන් ද වැනසූ සේක.</verse>
				<verse number="12">ඔවුන්ගේ දේශය උරුම කොට, ස්වකීය සෙනඟ වූ ඉශ්රායෙල්ට උරුම කොට දුන් සේක.</verse>
				<verse number="13">සමිඳුනි, ඔබේ නාමය සදාකල් පවත්නේ ය. සමිඳුනි, ඔබේ මහිමය සියලු පරම්පරාවන්ට පැතිර යන්නේ ය.</verse>
				<verse number="14">මන්ද, සමිඳාණෝ තමන් සෙනඟට යුක්තිය ඉටුකර දෙන සේක. ස්වකීය මෙහෙකරුවන්ට අනුකම්පා කරන සේක.</verse>
				<verse number="15">
					විජාතීන්ගේ රූප රනින් හා රිදීයෙන් ය, ඒවා මිනිස් අතින් සෑදූ දේ ය.
				</verse>
				<verse number="16">ඒවාට කටවල් ඇත, එහෙත්, කතා නොකරයි; ඇස් ඇත, එහෙත්, නොදකියි;</verse>
				<verse number="17">කන් ඇත, එහෙත්, නොඇසෙයි; නාස් පුඩු ඇත, එහෙත්, හුස්මක් නැත.</verse>
				<verse number="18">ඒවා සාදන්නෝත්, එමෙන් ම ඒවා විශ්වාස කරන සියල්ලෝත් ඒවාට සමාන වන්නෝ ය.</verse>
				<verse number="19">එම්බා ඉශ්රායෙල් වංශය! සමිඳුන්ට ප්‍රශංසා කරන්න. එම්බා ආරොන්ගේ වංශය! සමිඳුන්ට ප්‍රශංසා කරන්න.</verse>
				<verse number="20">එම්බා ලෙවී වංශය! සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සමිඳුන්ට ගරුබිය ඇත්තෙනි, සමිඳුන්ට ප්‍රශංසා කරන්න.</verse>
				<verse number="21">සියොන්හි, ජෙරුසලමෙහි වැඩ වසන සමිඳාණෝ ප්‍රශංසා ලබන සේක් වා! සමිඳුන්ට ප්‍රශංසා කරන්න.</verse>
			</chapter>
			<chapter number="136">
				<verse number="1">සමිඳුන් හට තුති පුදන්න. එතුමාණෝ යහපත් ය. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.</verse>
				<verse number="2">දේවාතිදෙවිඳුන්ට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.</verse>
				<verse number="3">රාජාතිරජිඳුන්ට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.</verse>
				<verse number="4">අසිරිමත් දේ කරන එක ම තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.</verse>
				<verse number="5">
					ප්‍රඥාවෙන් අහස මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න.
					එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
				</verse>
				<verse number="6">
					ජල මතුයෙහි පොළොව මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න.
					එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
				</verse>
				<verse number="7">
					ඉර හඳ මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න.
					එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
				</verse>
				<verse number="8">දවාල පාලනය කීරීමට හිරු මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.</verse>
				<verse number="9">රාත්‍රිය පාලනය කිරීමට සඳ හා තාරකා මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.</verse>
				<verse number="10">
					මිසර වැසියන්ගේ කුලුඳුලන්ට පහර දුන් තැනැන් වහන්සේට තුති පුදන්න.
					එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
				</verse>
				<verse number="11">
					ඔවුන් අතරෙන් ඉශ්රායෙල්වරුන් පිටතට ගෙන ආ තැනැන් වහන්සේට තුති පුදන්න.
					එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
				</verse>
				<verse number="12">ප්‍රබල බාහුවෙන් ද දිගු කළ හස්තයෙන් ද එසේ කළ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට ම පවත්නේ ය.</verse>
				<verse number="13">
					රතු මුහුද දෙපළු කළ තැනැන් වහන්සේට තුති පුදන්න.
					එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
				</verse>
				<verse number="14">ඉශ්රායෙල්වරුන් මුහුද මැදින් ගෙන ගිය තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.</verse>
				<verse number="15">පාරාවෝ සහ ඔහුගේ සේනාව රතු මුහුදේ ගිල්වාදැමූ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.</verse>
				<verse number="16">සිය සෙනඟ පාළුකරය මැදින් ගෙන ගිය තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.</verse>
				<verse number="17">බලවත් රජුන්ට පහර දුන් තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.</verse>
				<verse number="18">කීර්තිමත් රජුන් නැසූ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.</verse>
				<verse number="19">
					අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් නැසූ තැනැන් වහන්සේට තුති පුදන්න.
					එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
				</verse>
				<verse number="20">
					බාෂාන්හි රජ වූ ඕග් නැසූ තැනැන් වහන්සේට තුති පුදන්න.
					එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
				</verse>
				<verse number="21">ඔවුන්ගේ දේශය උරුමකොට සිය සෙනඟට දුන් තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.</verse>
				<verse number="22">සිය මෙහෙකරු ඉශ්රායෙල්ට එය උරුම කොට දුන් තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.</verse>
				<verse number="23">අප පරාජයට පත් ව සිටිය දී අප සිහිකළ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.</verse>
				<verse number="24">අපේ සතුරන්ගෙන් අප මිදූ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.</verse>
				<verse number="25">එතුමාණෝ සව් සත හට ආහාර සපයන සේක. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.</verse>
				<verse number="26">සගලෝ දෙවිඳුන් හට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.</verse>
			</chapter>
			<chapter number="137">
				<verse number="1">බබිලොන්හි ගං තෙරවල අපි හිඳගතිමු. සියොන් කන්ද අපට සිහි වූ විට අපි හඬා වැලපුණෙමු.</verse>
				<verse number="2">එහි බට පඳුරුවල අපේ වීණා එල්ලා තැබීමු.</verse>
				<verse number="3">එසේ කෙළේ, අප වහල්කමට ගෙන ගිය අය ගැයුම් වැයුම් කරන ලෙස අපට බල කළ බැවිනි. අපට පීඩා කළ අය, සියොන් ගීයක් ගයා ඔවුන් විනෝද කරවන ලෙස අපෙන් ඉල්ලූ බැවිනි.</verse>
				<verse number="4">විදේශයක දී, සමිඳුන්ගේ ගීතය අපි කෙසේ ගයමු ද?</verse>
				<verse number="5">එම්බා ජෙරුසලම! තී මට අමතක වී නම්, මාගේ දකුණත වියළී යේ වා!</verse>
				<verse number="6">මම තී සිහි නොකරම් නම්, මාගේ පරමානන්දය මෙන් ජෙරුසලම මම නොසලකම් නම් මාගේ දිව ගොළු වේ වා!</verse>
				<verse number="7">සමිඳුනි, ජෙරුසලම වැටුණ දවසේ දී, ‘බිඳ හෙළව්, බිඳ හෙළව්’ කියමින් ඒදොම් වැසියන් කළ දේ ඔවුන්ට විරුද්ධ ව සිහිකළ මැනව.</verse>
				<verse number="8">
					අහෝ බබිලෝනිය!
					විනාශකාරී බබිලෝනිය! තී අපට කළාක් මෙන් තිට ප්‍රතිවිපාක දෙන මිනිසා වාසනාවන්ත ය.
				</verse>
				<verse number="9">තිගේ ළදරුවන් රැගෙන ගලේ ගසන මිනිසා වාසනාවන්ත ය.</verse>
			</chapter>
			<chapter number="138">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. සමිඳුනි, හද පත්ලෙන් ඔබට තුති කරන්නෙමි. දෙවිවරුන් ඉදිරියෙහි ඔබට ගී ගයා ඔබ පසසන්නෙමි.</verse>
				<verse number="2">ඔබේ ශුද්ධ මාලිගාව දෙස බලා නමස්කාර කරමින් ඔබේ කරුණා ගුණය සහ විශ්වාසවන්තභාවය නිසා ඔබේ නාමයට තුති පුදන්නෙමි. ඔබේ නාමයත්, ආඥාත් උත්තරීතර බව ඔබ පෙන්වූ සේක.</verse>
				<verse number="3">මා ඔබ යැදි දවසේ දී ඔබ මට පිළිතුරු දුන් සේක; මාගේ සිත සවි කොට, මට ධෛර්යය දුන් සේක.</verse>
				<verse number="4">සමිඳුනි, මෙලොව සියලු රජවරු ඔබේ පොරොන්දු ඇසූ බැවින් ඔබට තුති පුදන්නෝ ය.</verse>
				<verse number="5">එසේ ය, සමිඳුන්ගේ මහිමය උතුම් වන්නේ ය; ඔව්හු සමිඳුන්ගේ මාර්ග ගැන ගී ගයන්නෝ ය.</verse>
				<verse number="6">සමිඳාණෝ උසස් නමුත්, පහත් අය සලකන සේක. එහෙත්, උඩඟු අය දුර සිට ම හැඳිනගන්න සේක.</verse>
				<verse number="7">මම විපත්ති මැද හැසිරෙම් නමුත් ඔබ මා රැක බලාගන්න සේක. ඔබ මාගේ සතුරන්ගේ උදහසට විරුද්ධ ව ඔබේ හස්තය දිගු කරන සේක. ඔබේ සුර’තින් ඔබ මා ගළවන සේක.</verse>
				<verse number="8">සමිඳාණෝ මා සම්බන්ධ ව අදහස් කරන දේ ඉටු කරන සේක. සමිඳුනි, ඔබේ ප්‍රේමය සදා පවත්නේ ය. ඔබ ඇරඹුවා වූ දේ නිම කළ මැනව.</verse>
			</chapter>
			<chapter number="139">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. සමිඳුනි, ඔබ මා සියුම් ලෙස විමසා බලා දැනගත් සේක.</verse>
				<verse number="2">මාගේ ඉඳුම් හිටුම් සියල්ල ඔබ දන්න සේක. දුර තියා ම මාගේ සිතිවිලි ඔබ තේරුම්ගන්න සේක.</verse>
				<verse number="3">මා ගමනක් ගියත්, නින්දට ගියත් ඔබ මාගේ සියලු මාර්ග දන්න සේක. මාගේ හැසිරීම සහමුලින් ම ඔබ දන්න සේක.</verse>
				<verse number="4">මා මුවට වචනයක් එන්නටත් පෙර සමිඳුනි, එහි අග මුල ඔබ දන්න සේක.</verse>
				<verse number="5">පෙර පසු යන දෙපසින් ම ඔබ මා වට කර ඇත. ඔබේ අත මා රැකගනු ඇත.</verse>
				<verse number="6">මෙම ඥානය මාගේ දැනුම ඉක්මවා යයි. එය උසස් ය, මට ඊට ළඟාවිය නොහැකි ය.</verse>
				<verse number="7">ඔබෙන් සැඟවී මම කොතැනට යම් ද? ඔබ ඉදිරියෙන් කොතැනට පලා යම් ද?</verse>
				<verse number="8">මා ස්වර්ගයට නැඟුණත්, ඔබ එහි ය. පාතාලයට බැස සැතපුණත්, ඔබ එහි ය.</verse>
				<verse number="9">මා නැගෙනහිරට ඉගිළී ගියත්, බටහිර මුහුදු සීමාන්තයේ විසුවත්</verse>
				<verse number="10">එහිදීත් ඔබේ අත මට මඟ පෙන්වන්නේ ය. ඔබේ දකුණත මට පිහිට වන්නේ ය.</verse>
				<verse number="11">“අඳුර මා වසාගනී වා! මා අවට පැතිරෙන එළිය අඳුරක් වේවා”යි මා කීවත්,</verse>
				<verse number="12">අඳුර ඔබට අඳුරක් නොවේ; අඳුරත්, එළියත් ඔබට එක හා සමාන ය.</verse>
				<verse number="13">ඔබ මාගේ ඇතුළාන්තය මැවූ සේක; මාගේ මවු කුසෙහි මා තැනූ සේක.</verse>
				<verse number="14">මම ඔබට තුති පුදමි. මන්ද, මා ඔබට ගරුබිය දැක්විය යුතු ය. ඔබේ සියලු ක්‍රියා අසිරිමත් ය; ඔබ තරයේ මා දන්න සේක.</verse>
				<verse number="15">මාගේ ඇටකටු සැදෙන විට, මවු කුසෙහි මා වැඩෙන විට, රහසිගත ව මා තැනෙන විට මා එහි වූ බව ඔබ දැන සිටි සේක.</verse>
				<verse number="16">මා බිහි වන්නට පෙර ඔබ මා දුටු සේක. මාගේ දවස් පටන්ගන්නටත් පෙර මාගේ ආයු ඔබේ පොතෙහි සටහන් කර තිබිණි.</verse>
				<verse number="17">දෙවිඳුනි, ඔබේ සිතුවිලි කොපමණ ගැඹුරු ද? එහි අදහස් කොපමණ අසීමිත ද?</verse>
				<verse number="18">ගණනින් ඒවා වැලිවලටත් වැඩි ය. ඒවා කෙසේ මට ගිණිය හැකි ද? ඒවා ගැන නිම කිරීමට නම්, ඔබට මෙන් ආයුස මටත් තිබිය යුතු ය.</verse>
				<verse number="19">දෙවිඳුනි, ඔබ දුෂ්ටයන් මරන සේක් නම්, මම කොපමණ කැමැත්තෙම් ද? දුදනෝ මාගෙන් අහක් ව යන්නෝ නම්, මම කොපමණ ආසා වෙම් ද?</verse>
				<verse number="20">ඔබේ සතුරෝ ඔබට විරුද්ධ ව කතා කියති; ඔව්හු ඔබේ වචන නොසලකා හරිති.</verse>
				<verse number="21">සමිඳුනි, ඔබට වෛර කරන්නන්ට මම වෛර නොකරම් ද? ඔබට විරුද්ධ ව නැඟිටින්නන්ට මම විරුද්ධ නොවෙම් ද?</verse>
				<verse number="22">මම ඔවුන්ට සහමුලින් වෛර කරමි. ඔවුන් මාගේ සතුරන් කොට ගණන්ගනිමි.</verse>
				<verse number="23">දෙවිඳුනි, මා විමසා බලා, මාගේ සිත දැනගත මැනව. මා පරීක්ෂාකර, මාගේ සිතිවිලි දැනගත මැනව.</verse>
				<verse number="24">මම පව් මඟ ගමන් කරම් දැ යි බැලුව මැනව. සදා මාර්ගයෙහි මා ගෙන ගිය මැනව.</verse>
			</chapter>
			<chapter number="140">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. සමිඳුනි, දුදනන්ගෙන් මා ගැළෙවුව මැනව. සැහැසිකම් කරන අයගෙන්, මා ආරක්ෂා කළ මැනව.</verse>
				<verse number="2">ඔව්හු නපුරු සිතින් උපා යොදති. නොකඩ ව ම අඬදබර උපදවති.</verse>
				<verse number="3">
					ඔවුන්ගේ දිව විසකුරු සපුන්ගේ දළ මෙන් තියුණු ය.
					ඔවුන්ගේ වචන පොළොං විස වැන්න.
				</verse>
				<verse number="4">සමිඳුනි, දුදනන්ගේ අතින් මා මුදාගත මැනව. සැහැසිකම් කරන අයගෙන් මා ආරක්ෂා කළ මැනව. ඔව්හු මාගේ පැකිළීමට උපා යොදති.</verse>
				<verse number="5">උඩඟු අය මට උගුල් අටවා රැහැන් ඇද්දෝ ය. ඔව්හු මඟ අසල දැලක් එළා මට මලපත් තැබූ හ.</verse>
				<verse number="6">‘ඔබ මාගේ දෙවිඳාණෝ ය’යි මම සමිඳුන් ඇමතුවෙමි. සමිඳුනි, මාගේ කන්නලව්වට සවන් දුන් මැනව.</verse>
				<verse number="7">මාගේ ගැළවීමේ ශක්තිය වන මහෝත්තම දෙවි ස්වාමීනි, සටනේ දී ඔබ මාගේ හිස වැස්මකින් ආරක්ෂා කළ සේක.</verse>
				<verse number="8">සමිඳුනි, දුදනන්ගේ ආසාව ඉටු නොකළ මැනව. ඔවුන්ගේ නපුරු උපා සාර්ථක වන්නට ඉඩ නුදුන මැනව.</verse>
				<verse number="9">මා වට කරගෙන සිටින අයට ජය ගන්නට ඉඩ නොදෙන්න. ඔවුන්ගේ තර්ජන ඔවුන් පිට ම වැටේ වා!</verse>
				<verse number="10">ඔවුන් පිට ගිනි අඟුරු වැටේ වා! ඔව්හු ගොඩ ගන්නට නොහැකි ගැඹුරු වළක හෙළනු ලබත් වා!</verse>
				<verse number="11">නපුරු, කේළාම්කාර මිනිසාට දේශයෙහි සිටින්නට ඉඩ නුදුන මැනව. සාහසිකයන් හෙළන පිණිස නපුරා වේගයෙන් ඔවුන් ලුහුබඳී වා!</verse>
				<verse number="12">සමිඳුනි, ඔබ දුප්පතාගේ නඩුව සාධාරණ ලෙස අසන බවත්, දිළිඳාට යුක්තිය ඉටු කර දෙන බවත් මම දනිමි.</verse>
				<verse number="13">සැබැවින් දැහැමියෝ ඔබේ නාමයට තුති පුදන්නෝ ය. අවංක අය ඔබ අබිමුව යෙහෙන් වාසය කරන්නෝ ය.</verse>
			</chapter>
			<chapter number="141">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. සමිඳුනි, මම ඔබෙන් අයැදින්නෙමි. මා ළඟට විගසින් වැඩිය මැනව. ඔබෙන් අයැදින කල මට සවන් දුන මැනව.</verse>
				<verse number="2">
					මාගේ අයැදුම ඔබ ඉදිරියෙහි සුවඳ දුම් මෙන් ද මාගේ දෑත එසවීම සන්ධ්‍යා පූජාව මෙන් ද පිළිගනු මැනව.
				</verse>
				<verse number="3">සමිඳුනි, මාගේ කට රැක ගැන්මට පිහිට වුණ මැනව. මාගේ දෙතොල රක්ෂා කළ මැනව.</verse>
				<verse number="4">මා හද නපුරට ඇදී යාමට ද දුෂ්ට ක්‍රියාවලට හවුල් වීමට ද මට ඉඩ නුදුන මැනව. දුෂ්ටයන්ගේ මංගල බොදුනට හවුල් වීමට ද මට ඉඩ නුදුන මැනව.</verse>
				<verse number="5">සුදනෙකු මට දඬුවම් දී තරවටු කළත් එය කාරුණික ක්‍රියාවකි. එහෙත්, දුදනන් දෙන ගරු සම්මාන මම ප්‍රිය නොකරමි. මන්ද, මාගේ අයැදුම නිතර ම ඔවුන්ගේ දුෂ්ටකමට විරුද්ධ ව බැවිනි.</verse>
				<verse number="6">ඔවුන්ගේ විනිශ්චයකාරයන් ප්‍රපාතවලින් හෙළනු ලැබූ කල මාගේ වචන සැබෑ බව සෙනඟ පිළිගනු ඇත.</verse>
				<verse number="7">ලී කොට කැබලිකර දමන්නාක් මෙන් ඔවුන්ගේ ඇටකටු මිනී වළේ කට ළඟ විසිරී තිබේ.</verse>
				<verse number="8">එසේ ය, මහෝත්තම දෙවි ස්වාමීනි, මාගේ ඇස් ඔබ දෙස යොමු වී තිබේ. මාගේ විශ්වාසය ඔබ කෙරෙහි තබමි. මා අනාථ වන්නට ඉඩ නුදුන මැනව.</verse>
				<verse number="9">ඔවුන් මට තැබූ මලපතින් ද අයුතුකම් කරන්නන්ගේ උගුල්වලින් ද මා ආරක්ෂා කළ මැනව.</verse>
				<verse number="10">මා ගැළවී යන අතර, දුදනෝ තමන්ගේ ම දැල්වලට අසු වෙත් වා!</verse>
			</chapter>
			<chapter number="142">
				<verse number="1">ගුහාවේ තමාගේ සිටීම ගැන දාවිත්ගේ අනුශාසනා යාච්ඤාවකි. මම හඬ නඟා සමිඳුන්ට මොරගසමි. මම ශබ්ද නඟා සමිඳුන්ට කන්නලව් කරමි;</verse>
				<verse number="2">මාගේ දුක් ගැනවිලි එතුමන් ඉදිරියෙහි තබමි. එතුමන් ඉදිරියෙහි මාගේ දුක් කරදර කියා සිටිමි.</verse>
				<verse number="3">මාගේ සිත මා තුළ මලානික වූ කල මා යන මඟ ඔබ දන්න සේක. මා යන මඟෙහි ඔව්හු මට මලපතක් තැබුවෝ ය.</verse>
				<verse number="4">මම ඇස් යොමා දකුණු දෙස බැලුවෙමි. මා ළඟ මිතුරෙකු නැති බව මට පෙනිණි. මා ආරක්ෂා කරන්න කිසිවෙක් නැත. කිසිවෙක් මා ගැන සලකන්නේ නැත.</verse>
				<verse number="5">සමිඳුනි, මම ඔබට මොරගැසීමි: ඔබ මාගේ රක්ෂා ස්ථානය වන සේක. මේ ජීවිතේ දී මාගේ උරුමය ඔබ පමණක් ය.</verse>
				<verse number="6">මාගේ මොරගැසීමට කන් දුන මැනව. මම දුක් සයුරේ කිඳා ගොස් සිටිමි. මට පීඩා කරන්නන්ගෙන් මා ගැළෙවුව මැනව. මන්ද, ඔව්හු මට වඩා බලවත් ය.</verse>
				<verse number="7">දුක් නමැති දඟ ගෙයින් මා මිදුව මැනව. ඔබ මට යහපත කළ නිසා මම ඔබේ සැදැහැවතුන්ගේ සභාවෙහි ඔබට තුති පුදන්නෙමි.</verse>
			</chapter>
			<chapter number="143">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. සමිඳුනි, මාගේ යැදුම ඇසුව මැනව. මාගේ කන්නලව්වට සවන් දුන් මැනව. ඔබේ සත්‍යවාදීකමින් ද ධර්මිෂ්ඨකමින් ද මට පිළිතුරු දුන මැනව.</verse>
				<verse number="2">
					ඔබේ දාසයා විනිශ්චයට ගෙන නොගිය මැනව.
					ඔබ අබිමුව නිදොස් කෙනෙක් මෙදියත නැත.
				</verse>
				<verse number="3">සතුරා මට පීඩා කෙළේ ය. ඔහු මට පහර දී මා බිම හෙළුවේ ය. ඔහු මා අඳුරු තැනකට දැමුවේ ය. මම බොහෝ කලකට පෙර මළ කෙනෙකු මෙන් වීමි.</verse>
				<verse number="4">එබැවින් ම සිත අඩපණ වී ඇත. මාගේ හද තුළ කිසි සැනසුමක් නැත.</verse>
				<verse number="5">යටගිය දවස් මම සිහි කරමි; ඔබේ සියලු ක්‍රියා ගැන භාවනා කරමි; ඔබ කළ දේ ගැන මෙනෙහි කරමි.</verse>
				<verse number="6">මාගේ දොහොත් මුදුන් දී ඔබෙන් අයැදිමි; මාගේ සිත වියළි බිමක් මෙන් ඔබ කෙරෙහි පිපාසිත වේ.</verse>
				<verse number="7">සමිඳුනි, ඉක්මනින් මට පිළිතුරු දුන මැනව. මාගේ සිත අඩපණ වී ඇත. පාතාලයට බසින්නන්ට මා සමාන නොවන පිණිස ඔබේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව.</verse>
				<verse number="8">උදය කාලයේ ඔබේ කරුණා ගුණය දකින්න මට සැලසුව මැනව. මම ඔබ කෙරෙහි විශ්වාසය තබමි. මා යා යුතු මාර්ගය මට දැක්වුව මැනව. ඔබ දෙස මාගේ සිත ඔසවමි.</verse>
				<verse number="9">සමිඳුනි, මාගේ සතුරන්ගෙන් මා ගැළෙව්ව මැනව. රැකවරණය පිණිස මම ඔබ වෙත දුවගෙන එමි.</verse>
				<verse number="10">ඔබේ කැමැත්ත කරන්න මට ඉගැන්නුව මැනව. ඔබ මාගේ දෙවිඳාණෝ ය. ඔබ යහපත් වන බැවින් පහසු මාවතක මා ගෙන ගිය මැනව.</verse>
				<verse number="11">සමිඳුනි, ඔබේ නාමයේ ගෞරවය උදෙසා මා ආරක්ෂා කළ මැනව. ඔබේ ධර්මිෂ්ඨකම නිසා මා විපතින් මිදුව මැනව.</verse>
				<verse number="12">ඔබේ අධික ප්‍රේමයෙන් මා සතුරන් සිඳදැමුව මැනව. මට පීඩා කරන සියල්ලන් විනාශ කළ මැනව. මන්ද, මම ඔබේ මෙහෙකරු වෙමි.</verse>
			</chapter>
			<chapter number="144">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. මාගේ පර්වතය වන සමිඳුන්ට ප්‍රශංසා වේ වා! එතුමාණෝ යුද්ධයට මාගේ අත් ද සටනට මාගේ ඇඟිලි ද පුහුණු කරන සේක.</verse>
				<verse number="2">එතුමාණෝ මට කරුණා නිධානය ය; මාගේ බලකොටුව ය; මාගේ උස් කොටුව හා මාගේ මිදුම්කරු ය; මාගේ පලිහ ය. මා විශ්වාසය තබන තැනැන් වහන්සේ ය. ජාතීන් මට යටත්කර දෙන්නේ එතුමාණෝ ය.</verse>
				<verse number="3">
					සමිඳුනි, ඔබ, මිනිසා ගැන කල්පනා කරන්න තරම් ඔහු කවරෙක් ද?
					මිනිසා ගැන සලකන්න තරම් ඔහු කවරෙක් ද?
				</verse>
				<verse number="4">මිනිසා සුළං රොදකට සමාන ය; ඔහුගේ කාලය පහ වී යන හෙවණැල්ලක් වැනි ය.</verse>
				<verse number="5">සමිඳුනි, ඔබ අහස විවර කොට බැස වැඩිය මැනව. කඳුවලින් දුම් නඟින පිණිස ඒවා ස්පර්ශ කළ මැනව.</verse>
				<verse number="6">විදුලිය විහිදුවා රුපුන් විසුරුවා හැරිය මැනව. ඔබේ ඊතල විද ඔවුන් පලවා හැරිය මැනව.</verse>
				<verse number="7">සගලොවින් ඔබේ හස්තය දිගු කළ මැනව. මහා ජල ගැල්මෙන් ද විදේශීන්ගේ අතින් ද මා බේරා මුදාගත මැනව.</verse>
				<verse number="8">ඔවුන්ගේ මුවින් නික්මෙන්නේ බොරු ය; දිවුරුම් දී ඇතත් කියන්නේ බොරු ම ය.</verse>
				<verse number="9">දෙවිඳුනි, ඔබට නව ගීයක් ගයන්නෙමි. තත් දසයේ වීණාව ගෙන ඔබට පසස් ගී ගයන්නෙමි.</verse>
				<verse number="10">රජුන්ට ජය දෙන්නේත්, ඔබේ මෙහෙකරු දාවිත් රුදුරු කඩුවෙන් මුදාගන්නේත් ඔබ ය.</verse>
				<verse number="11">විදේශීන්ගේ අතින් මා බේරා මුදාගත මැනව. ඔවුන්ගේ මුවින් නික්මෙන්නේ බොරු ය; ඔවුන් දිවුරුම් දී ඇතත් කියන්නේ බොරු ම ය.</verse>
				<verse number="12">තරුණ වියේ සිටින අපේ පුත්‍රයෝ වැඩුණු පැළ මෙන් වෙත් වා! අපේ දූවරු මාලිගාවල කැටයම් කරන ලද මනහර කණු මෙන් වෙත් වා!</verse>
				<verse number="13">අපේ ගබඩා සියලු ආකාර ධනයෙන් පිරේ වා! අපේ කෙත්වල බැටළුවෝ දහස් ගණන්, දස දහස් ගණන් බිහි කරත් වා!</verse>
				<verse number="14">අපේ ගවදෙන්නු ගැබ් ගැනීමට ශක්ති සම්පන්න වෙත් වා! ගබ්සා වීමක් වත්, අකලට ඉපදීමක් වත් නො වේ වා! අපේ වීදිවල විලාප හැඬීම් නො වේ වා!</verse>
				<verse number="15">මෙයාකාර ආසිරි ලත් සෙනඟ වාසනාවන්ත ය. සමිඳාණෝ තම දෙවිඳාණෝ යැයි පිළිගත් සෙනඟ වාසනාවන්ත ය.</verse>
			</chapter>
			<chapter number="145">
				<verse number="1">දාවිත්ගේ ගීතයකි. මා දෙවි රජිඳුනි, ඔබ ගුණ මම ගයමි. ඔබ නම සදාකල් ම පසසමි.</verse>
				<verse number="2">සැම දා ඔබට තුති පුදමි; සදාකල් ඔබ නම පසසමි.</verse>
				<verse number="3">සමිඳාණෝ උතුම් ය, උසස් ම පැසසුම් ලැබිය යුතු ය. එතුමන්ගේ උතුම්කම සොයා දැනගත නොහැකි ය.</verse>
				<verse number="4">පරපුරෙන් පරපුරට ජනතාවෝ ඔබේ ක්‍රියා වර්ණනා කරති; ඔබේ ප්‍රබල ක්‍රියා ගැන ප්‍රශංසා කරති.</verse>
				<verse number="5">මම ඔබේ රජ සිරි තෙද මහිමයත්, ඔබේ අරුමපුදුම ක්‍රියාත් මෙනෙහි කරන්නෙමි.</verse>
				<verse number="6">දනෝ ඔබේ විස්මයජනක ක්‍රියා ගැන කතා කරන්නෝ ය; මම ඔබේ උතුම්කම පවසන්නෙමි.</verse>
				<verse number="7">ඔව්හු ඔබේ මහා යහපත්කමේ පුවත ප්‍රකාශ කරති; ඔබේ දැහැමිකම ගැන ගී ගයති.</verse>
				<verse number="8">සමිඳාණෝ දයාවන්ත ය. අනුකම්පාවෙන් පූර්ණ ය; වහා නොකිපෙන සුලු ය; තිරසර පෙමින් යුතු ය.</verse>
				<verse number="9">සමිඳාණෝ සියල්ලන්ට කරුණාව පාන සේක; එතුමන්ගේ සුමුදු දයාව මවන ලද සියල්ල ද වෙත පැතිරෙයි.</verse>
				<verse number="10">සමිඳුනි, ඔබ මැවූ සියලු දේ ඔබට තුති පුදයි; ඔබේ සැදැහැවත්තු ද ඔබට ප්‍රශංසා කරති.</verse>
				<verse number="11">ඔව්හු ඔබේ රාජ්‍යයේ මහිමය වර්ණනා කරති. ඔබේ බල මහිමය ගැන ද කතා කරති.</verse>
				<verse number="12">එසේ කරන්නේ, දෙවිඳුන්ගේ ප්‍රබල ක්‍රියාත්, රාජ්‍යයේ තේජෝ මහිමයත් මිනිසුන් හට දන්වන පිණිස ය.</verse>
				<verse number="13">ඔබේ රාජ්‍යය සදාකාලික ය, ඔබේ ආධිපත්‍යය ද සියලු පරම්පරාවල ම පවත්නේ ය සමිඳාණෝ සියලු පොරොන්දු ඉටු කරන සේක. තමන් කරන සියල්ලේ දී මෙත් සිත් වඩන සේක.</verse>
				<verse number="14">වැටෙන දුබලුන් හට සමිඳාණෝ ආධාර කරන සේක. නැමී සිටින සියල්ලන් කෙළින් සිටුවන සේක.</verse>
				<verse number="15">සියල්ලන්ගේ දෙනෙත් ඇවිටිල්ලෙන් ඔබ දෙස යොමු කර තිබේ. ඔබ ද සුදුසු කාලයේ දී ඔවුන්ට ආහාර දෙන සේක.</verse>
				<verse number="16">ඔබ සිය හස්තය විදහා පාන සේක; ජීවමාන සියල්ලන්ගේ ආසාවන් සපුරාලන සේක.</verse>
				<verse number="17">සමිඳාණෝ සැම අතින් ම සාධාරණ ය, එතුමන්ගේ සියලු ක්‍රියා දයාන්විත ය.</verse>
				<verse number="18">අයැදින සියල්ලන්ට සමිඳාණෝ ළං ව සිටින සේක. අවංක සිතින් යදින්නන්ට ආසන්න ව සිටින සේක.</verse>
				<verse number="19">තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ගේ පැතුම් එතුමාණෝ ඉටු කරන සේක. ඔවුන්ගේ මොරගැසීම් අසා ඔවුන් ගළවන සේක.</verse>
				<verse number="20">සමිඳාණෝ තමන්ට ප්‍රේම කරන සියල්ලන් ආරක්ෂා කරන සේක. එහෙත්, සියලු දුදනන් වනසාලන සේක.</verse>
				<verse number="21">මා මුවින් සමිඳුන්ට පැසසුම් ගී ගයන්නෙමි. සව් සත සදාකල් ම එතුමන්ගේ ශුද්ධ නාමයට ප්‍රශංසා කරත් වා!</verse>
			</chapter>
			<chapter number="146">
				<verse number="1">සමිඳුන්ට ප්‍රශංසා කරන්න. මාගේ සිත සමිඳුන්ට ප්‍රශංසා කරන්න.</verse>
				<verse number="2">දිවි හිමියෙන් සමිඳුන්ට ප්‍රශංසා කරන්නෙමි. දිවි ඇති තාක් මා දෙවිඳුන්ට පැසසුම් ගී ගයන්නෙමි.</verse>
				<verse number="3">රජ කුමරුන් කෙරෙහි වත්, පිහිට විය නොහැකි කිසි ම මිනිසෙකු කෙරෙහි වත් විශ්වාසය නොතබන්න.</verse>
				<verse number="4">මිනිසා අන්තිම හුස්ම හෙළයි; පසට ආපසු හැරෙයි; එදින ම ඔහුගේ යෝජනා සුන් වී යයි.</verse>
				<verse number="5">ජාකොබ්ගේ දෙවිඳුන් සරණ පතන, සිය දෙවි සමිඳුන් කෙරෙහි බලාපොරොත්තු තබන තැනැත්තේ වාසනාවන්ත ය.</verse>
				<verse number="6">
					එතුමාණෝ අහසත්, පොළොවත්, මුහුදත්, එහි ඇති සියල්ලත් මැවූ සේක.
					එතුමාණෝ සදාකල් ම විශ්වාසී ව සිටින සේක.
				</verse>
				<verse number="7">සමිඳාණෝ පීඩා විඳින්නන්ට යුක්තිය ඉටු කර දෙන සේක; සාගිනි වූවන්ට ආහාර දෙන සේක;</verse>
				<verse number="8">එතුමාණෝ සිරකරුවන් මුදන සේක; අන්ධයන්ගේ ඇස් පහදන සේක; වැටී ගියවුන් නඟා සිටුවන සේක; සමිඳාණෝ දමිටුන්ට ප්‍රේම කරන සේක.</verse>
				<verse number="9">විදේශීන් ආරක්ෂා කරන සේක; අනාථයන්ට හා වැන්දඹුවන්ට උපකාර කරන සේක; එහෙත්, දුදනාගේ යෝජනා සුන් කරන සේක.</verse>
				<verse number="10">සමිඳාණෝ සදහට ම රජකම් කරන සේක. එම්බා සියොන් නගරය! ඔබේ සමිඳාණෝ සියලු පරම්පරා දක්වා රජකම් කරන සේක. සමිඳුන්ට ප්‍රශංසා වේ වා!</verse>
			</chapter>
			<chapter number="147">
				<verse number="1">සමිඳුන්ට ප්‍රශංසා කරන්න; අපේ දෙවිඳුන්ට පසස් ගී ගැයීම යහපත් ය. එතුමන් පැසසීම පියකරු ය, හොබනේ ය.</verse>
				<verse number="2">සමිඳාණෝ ජෙරුසලම ගොඩනඟන සේක. විප්‍රවාසී වූ ඉශ්රායෙල් සෙනඟ රැස් කරන සේක.</verse>
				<verse number="3">එතුමාණෝ බිඳුණු සිත් ඇත්තන් සුව කරන සේක; ඔවුන්ගේ තුවාළ බඳින සේක.</verse>
				<verse number="4">එතුමාණෝ තාරකා ගණන නියම කළ සේක. ඒ සියල්ලට නම් තබන සේක.</verse>
				<verse number="5">අප සමිඳාණෝ උතුම් ය: ඉතා බලසම්පන්න ය; එතුමන්ගේ ඥානය අසීමිත ය.</verse>
				<verse number="6">සමිඳාණෝ දීනයන් ඔසවන සේක; දුදනන් පහතට හෙළන සේක.</verse>
				<verse number="7">තුති පුදා සමිඳුන්ට ගී ගයන්න; වීණා වැයීමෙන් අපේ දෙවිඳුන් පසසන්න.</verse>
				<verse number="8">එතුමාණෝ වලාකුළුවලින් අහස ආවරණය කරන සේක; පොළොවට වැසි වස්වන සේක. කඳු මත තෘණ වැවෙන්නට සලසන සේක.</verse>
				<verse number="9">එතුමාණෝ මෘගයන්ටත්, හඬන කපුටු පැටවුන්ටත් කෑම දෙන සේක.</verse>
				<verse number="10">සවි බලැති අසුන්ගෙන් එතුමන්ට කම් නැත. වේගයෙන් දුවන සෙබළුන්ගෙන් එතුමන්ට වැඩක් නැත.</verse>
				<verse number="11">එහෙත් සමිඳාණෝ, තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට, තමන්ගේ ප්‍රේමය පතන්නන්ට, ප්‍රසන්න වන සේක.</verse>
				<verse number="12">එම්බා ජෙරුසලම! සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සියොන් ගිර, තිගේ දෙවිඳුන්ට ප්‍රශංසා කරන්න.</verse>
				<verse number="13">මන්ද, එතුමාණෝ තිගේ වාසල් දොරටුවල අගුල් සවිමත් කළ සේක; තිගේ දරුවන්ට ආශීර්වාද කළ සේක.</verse>
				<verse number="14">තිගේ සීමා තුළ සාමය සිදු කරන සේක; ඉස්තරම් තිරිඟු පිටියෙන් තෘප්තියට පමුණුවන සේක.</verse>
				<verse number="15">එතුමාණෝ ස්වකීය ආඥාව පොළොවෙහි ඉම දක්වා යවන සේක. එතුමන්ගේ වචන යුහු ව පැතිර යයි.</verse>
				<verse number="16">එතුමාණෝ බැටළු ලොම් මෙන් හිම වස්වන සේක. අළු මෙන් පිනි කැට විසුරුවන සේක.</verse>
				<verse number="17">සිය හිම කැට කැබෙලි කොට විසුරුවන සේක. එතුමන් එවන ශීතලය දරන්නට පුළුවන් කවරෙකුට ද?</verse>
				<verse number="18">එතුමාණෝ අණ දෙන සේක; හිම කැට දිය වන්න සලස්වන සේක. එතුමාණෝ හුළඟ හමන්න සලස්වන සේක. එවිට ජලය ගලා යන්නේ ය.</verse>
				<verse number="19">එතුමාණෝ ජාකොබ්ට සිය වචනය ද ඉශ්රායෙල්ට සිය පණත් සහ නියමයන් ද ප්‍රකාශ කරන සේක.</verse>
				<verse number="20">එතුමාණෝ වෙන කිසි ජාතියකට මෙසේ නොකළ සේක. ඔව්හු එතුමන්ගේ නියමයන් දැන නොගත්තෝ ය. සමිඳුන්ට ප්‍රශංසා වේ වා!</verse>
			</chapter>
			<chapter number="148">
				<verse number="1">සමිඳුන් පසසන්න. සගලෝ සිට සමිඳුන් පසසන්න. උස් තැන්හි දී ඔබ හැම එතුමන් පසසන්න.</verse>
				<verse number="2">එතුමන්ගේ සියලු දූතයෙනි, එතුමන් පසසන්න. එතුමන්ගේ මුළු සේනාවෙනි, එතුමන් පසසන්න.</verse>
				<verse number="3">ඉර හඳ මඬලෙනි, එතුමන් පසසන්න. දිළිහෙන තරු සියල්ලෙනි, එතුමන් පසසන්න.</verse>
				<verse number="4">උසස් ම ස්වර්ගයෙනි, අහසට උඩින් තිබෙන ජලයෙනි, එතුමන් පසසන්න.</verse>
				<verse number="5">ඒ සියල්ලෝ සමිඳුන්ට ප්‍රශංසා කරත් වා! මන්ද, එතුමාණෝ අණ කළ සේක. එවිට ඒවා මවන ලද්දේ ය.</verse>
				<verse number="6">එතුමාණෝ සදහට ම ඒවා පිහිටෙවූ සේක. ඒවාට ඉක්මවා ගිය නොහැකි සීමාවක් තැබූ සේක.</verse>
				<verse number="7">මහ මුහුද හා එහි වසන මසුනි,</verse>
				<verse number="8">ගිනි හා ගල් වැහි වලාවෙනි, හිම හා වාෂ්පයෙනි, එතුමන්ගේ අණ ඉටු කරන මාරුතයෙනි, පොළොවේ සිට සමිඳුන් පසසන්න.</verse>
				<verse number="9">කඳු හා හෙල් සියල්ලෙනි, පල දෙන ගස් හා කිහිරි රුක් සියල්ලෙනි,</verse>
				<verse number="10">වන සතුන්, උරගයින්, පක්ෂීන් හා සියලු සිව්පාවෙනි, සමිඳුන් පසසන්න.</verse>
				<verse number="11">මිහි පිට රජවරුන් හා සියලු මිනිස් වර්ගයෙනි, අධිපතිවරුනි, ලොවේ සියලු විනිසකරුවෙනි,</verse>
				<verse number="12">තරුණ තරුණියනි, මහල්ලන් හා බාලයෙනි, සමිඳුන් පසසන්න.</verse>
				<verse number="13">මොවුහු සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා කරත් වා! එතුමන්ගේ නාමය පමණක් උදාරතර ය. එතුමන්ගේ මහිමය අහසත්, පොළොවත් ඉක්මවා යන්නේ ය.</verse>
				<verse number="14">එතුමන්ගේ සියලු සෙනඟ ද එතුමන්ට ප්‍රිය ඉශ්රායෙල් සෙනඟ ද සියලු සැදැහැවතුන් ද පැසසුමට හා මහිමයට එතුමාණෝ එසෙවූ සේක. සමිඳුන්ට ප්‍රශංසා කරන්න.</verse>
			</chapter>
			<chapter number="149">
				<verse number="1">සමිඳුන් පසසන්න. සමිඳුන්ට නව ගීතිකාවක් ද සැදැහැවතුන්ගේ සභාවේ දී එතුමන්ගේ පැසසුම් ද ගායනා කරන්න.</verse>
				<verse number="2">තමන් මැවූ තැනැන් වහන්සේ කෙරෙහි ඉශ්රායෙල් ප්‍රීති වෙත් වා! තමන්ගේ රජුන් කෙරෙහි සියොන්හි දරුවෝ ප්‍රීතිමත් වෙත් වා!</verse>
				<verse number="3">එතුමන්ගේ නාමයට රඟපාමින් පැසසුම් කරත් වා! රබන් ගසා, වීණා වයා එතුමන්ට පසස් ගී ගයත් වා!</verse>
				<verse number="4">සමිඳාණෝ සිය සෙනඟ කෙරෙහි ප්‍රසන්න වන සේක. දීනයන් ජය සිරියෙන් සරසන සේක.</verse>
				<verse number="5">සැදැහැවත්තු මහිමයෙන් යුක්ත ව ප්‍රීති වෙත් වා! මුළු රෑ එතුමන් නමදිමින් ප්‍රීතියෙන් ගායනා කරත් වා!</verse>
				<verse number="6">දෙමුවහත් කඩුවක් අතට ගනිත් වා! සිය මුවින් සමිඳුන්ට පැසසුම් කරත් වා!</verse>
				<verse number="7">එසේ කරන්නේ, ජාතීන් කෙරෙහි පළිගැනීම පිණිස ය; මිනිස් වර්ගයන් කෙරෙහි දඬුවම් පමුණුවන පිණිස ය;</verse>
				<verse number="8">ඔවුන්ගේ රජුන් යදමින් ද ඔවුන්ගේ අධිපතීන් විලංගුවලින් ද බඳින පිණිස ය;</verse>
				<verse number="9">ලියන ලද විනිශ්චය ඔවුන් කෙරෙහි ඉටු කරනු පිණිස ය; මේ ගෞරවය එතුමන්ගේ සියලු සැදැහැවතුන්ට ඇත්තේ ය. සමිඳුන්ට ප්‍රශංසා වේ වා!</verse>
			</chapter>
			<chapter number="150">
				<verse number="1">සමිඳුන් පසසන්න. දෙවිඳුන්ගේ ශුද්ධ ස්ථානයෙහි දී එතුමන් පසසන්න. එතුමන්ගේ බලය පවත්නා අහස් තලයෙහි එතුමන් පසසන්න.</verse>
				<verse number="2">එතුමන්ගේ බලවත් ක්‍රියා නිසා එතුමන් පසසන්න. එතුමන්ගේ ලොවුතුරා මහිමතාව නිසා එතුමන් පසසන්න.</verse>
				<verse number="3">හොරණෑ නාදයෙන් එතුමන් පසසන්න. කුඩා වීණාවෙන් හා මහා වීණාවෙන් එතුමන් පසසන්න.</verse>
				<verse number="4">රඟපාමින් හා කිකිණි රබානෙන් එතුමන් පසසන්න. වීණාවෙන් හා නළාවෙන් එතුමන් පසසන්න.</verse>
				<verse number="5">හඬැති අත්තලින් ද උස් නද දෙන අත්තලින් ද එතුමන් පසසන්න.</verse>
				<verse number="6">ජීවමාන සියල්ලෝ සමිඳුන් පසසත් වා! සමිඳුන්ට ප්‍රශංසා වේ වා!</verse>
			</chapter>
		</book>
		<book number="20">
			<chapter number="1">
				<verse number="1">ඉශ්රායෙල් රජ වූ, දාවිත්ගේ පුත් සලමොන් පැවසූ හිතෝපදේශ මේ ය:</verse>
				<verse number="2">ඒවායින්, ප්‍රඥාව ද විනය ධර්ම ද ධර්මාවබෝධය ද ලැබෙනු ඇත.</verse>
				<verse number="3">ඒවායින්, බුද්ධි වර්ධනය හා දැහැමි ක්‍රියා ද අවංකකම ද යුක්තිය හා සාධාරණකම ද පිළිබඳ උපදෙස් ලැබෙනු ඇත.</verse>
				<verse number="4">ඒවායින්, අනුවණයන් හට නුවණ ද තරුණයන් හට මනා අවබෝධය හා සිහිකල්පනාව ද ලැබෙනු ඇත.</verse>
				<verse number="5">හිතෝපදේශ හා උපහැරණ ද</verse>
				<verse number="6">බුද්ධිමතුන්ගේ කියුම් ද ප්‍රහේලිකා ද තේරුම්ගනු වස් නුවණැතියෝ ඒවාට සවන් දී දැනුම දියුණු කරගන්නෝ ය; ප්‍රාඥයෝ උපදෙස් ලබාගන්නෝ ය.</verse>
				<verse number="7">
					දේව ගරුබිය ප්‍රඥාවේ මුල් පියවර යි;
					අනුවණයෝ නැණනුවණ හා විනය ධර්ම හෙළා දකිති.
				</verse>
				<verse number="8">මාගේ පුත්‍රය, පියාගේ අවවාදය අසන්න; මවගේ උපදෙස් ඉවත නොදමන්න.</verse>
				<verse number="9">ඒවා ඔබේ සිරසට හොබනා කිරුළක් ද ගෙලට අගනා මාලයක් ද වන්නේ ය.</verse>
				<verse number="10">මාගේ පුත්‍රය, පවිටුන් මෙසේ කියමින් ඔබ පොළඹවන විට, එකඟ නොවන්න:</verse>
				<verse number="11">“අප සමඟ එන්න, අපි මඟ රැක සිට කෙනෙකු මරාදමමු; සැඟවී සිට, වරදක් නොකළ නිදොස් අයෙකුට පහර දෙමු.</verse>
				<verse number="12">පාතාලය මෙන් අපි ඔවුන් පණපිටින් ගිලදමමු; නිවැරදි වුව ද, ඔවුන් අපායට බසින්නවුන් මෙන් වනු ඇත.</verse>
				<verse number="13">නන් වැදෑරුම් අගනා වස්තු අපි පැහැරගනිමු; කොල්ලකාගත් දෙයින් අපේ ගේදොර පුරවාගනිමු.</verse>
				<verse number="14">එන්න, අපේ කල්ලියට එක් වන්න; අප කාටත් පොදු පසුම්බියක් තබාගනිමු.”</verse>
				<verse number="15">මාගේ පුත්‍රය, ඒ පාරෙහි නම් නොයන්න; ඔවුන්ගේ ක්‍රියා මාර්ගයෙන් ඈත් වන්න.</verse>
				<verse number="16">ඔව්හු, අපරාධ කිරීමට කඩාබිඳගෙන යති; ලේ වැගිරීමට වේගයෙන් දුවති.</verse>
				<verse number="17">කුරුල්ලා බලා සිටිය දී දැල දැමීමෙන් පලක් නැත.</verse>
				<verse number="18">මේ මිනිස්සු තමන්ට ම උගුල් අටවාගනිති; තමන්ගේ ම විනාශයට උපා යොදති.</verse>
				<verse number="19">අයුතු ලාභයට ගිජු වන්නා එයින් ම වැනසේ. ඔහුගේ ඉරණම එය වේ.</verse>
				<verse number="20">ප්‍රඥා තොමෝ වීදිවල හඬනඟයි; ප්‍රසිද්ධ තැන්වල මොරගසයි.</verse>
				<verse number="21">දෙනෝදහසක් රැස් වන මංසන්දිවල ඈ හඬනඟයි; නුවර වාසල් දොරටු ළඟ ඈ මෙසේ නිවේදනයක් කරයි:</verse>
				<verse number="22">“අනුවණයෙනි, ඔබ කොතෙක් කල් අනුවණකමට ප්‍රිය වන්නහු ද? නින්දා කරන්නෙනි, ඔබ කොතෙක් කල් නින්දාවට ප්‍රසන්න වන්නහු ද? අඥානයෙනි, ඔබ කොතෙක් කල් දැනගැන්මට ගරහන්නහු ද?</verse>
				<verse number="23">මාගේ තරවටුව හිතට ගන්න; එසේ කළොත්, මම මුළු හිතින් ගුරුකම් දෙන්නෙමි.</verse>
				<verse number="24">මම හඬගැසුවෙමි; ඔබ සවන් දුන්නේ නැත. මම ආයාචනා කෙළෙමි; ඔබ සැලකුවේ නැත.</verse>
				<verse number="25">ඔබ මාගේ සියලු දැනමුතුකම් ගණනට නොගත්තහු ය; මාගේ ඔවා බස් නොපිළිගත්තහු ය.</verse>
				<verse number="26">ඒවායින් ඔබ විපතට වැටෙන විට මම සිනාසෙන්නෙමි; භීතිය පැමිණෙන විට ද මම සමච්චල් කරන්නෙමි.</verse>
				<verse number="27">භීතිය, කුණාටුවක් මෙන් ඔබට පැමිණි විට ද විනාශය, සුළි සුළඟක් මෙන් එන විට ද සිත් වේදනා හා දුක ඇති වන විට ද මම සමච්චල් කරමි.</verse>
				<verse number="28">එවිට ඔබ මට හඬගසන නමුත් මම උත්තර නොදෙමි; ඔබ හැමතැන ම මා සොයන නමුත් මා සම්බ වන්නේ නැත.</verse>
				<verse number="29">ඔබ කවදත් දැනුම හෙළා දුටුවහු ය; දේව ගරුබිය එපා කළහු ය.</verse>
				<verse number="30">ඔබ කිසිදාක මාගේ දැනමුතුකම් පිළිගත්තේ නැත; මාගේ ඔවා බස්වලට කන් දුන්නේ නැත.</verse>
				<verse number="31">කළ කළ දේ ඔබට පල පල දෙනු නියත ය; ඔබේ උපායවල විපාක එපා වන තුරු ලැබෙනු ඇත.</verse>
				<verse number="32">අනුවණ දනෝ නැණනුවණට පිටුපා මියයති; අමන දනෝ නොසැලකිලිකමින් වැනසී යති.</verse>
				<verse number="33">එහෙත් මට සවන් දෙන තැනැත්තේ සුරැකි ව, විපතට නොබා, යෙහෙන් වසනු ඇත.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">මාගේ පුත්‍රය, මාගේ ඔවා බස් හිතට ගන්න; මාගේ උපදෙස් සිතෙහි නිදන් කරගන්න.</verse>
				<verse number="2">ප්‍රඥාවට සවන් දෙන්න, ඥානයට අවධානය යොමු කරන්න.</verse>
				<verse number="3">නුවණ ඉල්ලා සිටින්න, ඥානයට හඬගසා ඇය පතන්න.</verse>
				<verse number="4">රිදී සොයන්නාක් මෙන් ඇය සොයන්න; සැඟවී ඇති නිධානයක් මෙන් ඇය ගැන විපරම් කරන්න.</verse>
				<verse number="5">එසේ කළොත්, දේව ගරුබිය කුමක් දැ යි ඔබට තේරුම් යයි. දෙවියන් ගැන අවබෝධය ඔබට ලැබෙයි.</verse>
				<verse number="6">මන්ද, ප්‍රඥාව සමිඳුන්ගේ ම දීමනාවකි. දැනුම හා ඥානය පහළ වන්නේ සමිඳුන්ගේ මුවෙනි.</verse>
				<verse number="7">සමිඳාණෝ අවංක වූවන් හට නියම ප්‍රඥාව දෙන සේක; සත්‍යවාදී අයට එතුමාණෝ පලිහක් වන සේක.</verse>
				<verse number="8">සමිඳාණෝ යුක්ති මාවත ආරක්ෂා කරන සේක; බැතිමතුන්ගේ මාර්ගය රැකවල් කරන සේක.</verse>
				<verse number="9">මෙසේ ඔබ, දැහැමිකම ද යුක්තිය ද සත්‍යවාදී බව ද යන සියලු යහ මඟ තේරුම්ගන්නෙහි ය.</verse>
				<verse number="10">ප්‍රඥාව ඔබේ මනසට පිවිසෙයි; දැනුම ඔබේ සිතට ප්‍රීතිය ගෙන දෙයි.</verse>
				<verse number="11">සිහි නුවණ ඔබ රැකවල් කරයි; තියුණු නැණ ඔබ රැකගනියි.</verse>
				<verse number="12">එය දුදනන්ගේ මාර්ගවලින් ද මිනිසුන්ගේ රැවටිලි කතාවෙන් ද ඔබ මුදාගනියි;</verse>
				<verse number="13">අන්ධකාර මාර්ගවල යන පිණිස, අවංක මාවත් හැර දමන්නන්ගෙන් ඔබ මුදාගනියි.</verse>
				<verse number="14">ඔවුන්ගේ සතුට නපුර කිරීමට ය; ඔවුන්ගේ ප්‍රීතිය දුෂ්ට උපායවලට ය;</verse>
				<verse number="15">ඔවුන්ගේ ක්‍රියා වංක ය; ඔවුන්ගේ මාවත් ඇද ය.</verse>
				<verse number="16">ඒ මඟින්, දුසිරිතට සිත දුන් ස්ත්‍රියකගෙන්, ඉච්චා බස් දොඩන ස්ත්‍රියකගෙන්,</verse>
				<verse number="17">පතිවත කඩන ස්ත්‍රියකගෙන්, දේව ගිවිසුම් කඩ කරන ස්ත්‍රියකගෙන්, ඔබ ගැළවෙන්නෙහි ය.</verse>
				<verse number="18">ඇගේ නිවස මරණයට බැස යන බෑවුමකි; ඇගේ මාවත් මළවුන්ගේ ලෝකයට යන ගමනකි.</verse>
				<verse number="19">ඈ වෙතට යන්නෙකු ආපසු එන්නේ නැත; ජීවන මාවත්වලට යළි පැමිණෙන්නේ නැත.</verse>
				<verse number="20">මෙය මා කියන්නේ, නුඹ යහ මඟ හැසිර, දැහැමි මඟ ඇවිදින පිණිස ය.</verse>
				<verse number="21">අවංක අය මිහි පිට දිගු කල් වසති; නිදොස් අය එහි යෙහෙන් කල් යවනු ඇත.</verse>
				<verse number="22">එහෙත් දුදනෝ පොළොවෙන් පහකර දමනු ලබති; ද්‍රෝහියෝ එයින් මුලිනුපුටා දමනු ලබති.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">මාගේ පුත්‍රය, මාගේ ඔවදන් අමතක නොකරන්න; මාගේ අණපණත් ඔබ හද තුළ රැකගන්න.</verse>
				<verse number="2">එවිට ඔබ දිගායු වළඳන්නෙහි ය; චිරාත් කාලයක් ජීවත් වන්නෙහි ය: සව් සිරින් වැඩිවන්නෙහි ය.</verse>
				<verse number="3">පක්ෂපාතකම හා විශ්වාසය අත් නොහරින්න; ඒවා ගෙල වටේ මාලයක් මෙන් බැඳගන්න. ගලෙහි කෙටූ අකුරක් මෙන් සිතෙහි සටහන් කරගන්න.</verse>
				<verse number="4">
					එවිට ඔබ, දෙවියන් හා මිනිසුන් අබිමුව ප්‍රසාදයට හා කීර්තියට පාත්‍ර වනු නිසැක ය.
				</verse>
				<verse number="5">හුදෙක් නුඹේ ම නුවණෙහි නොපිහිටා, මුළු හිතින් හිමි තුම කෙරෙහි විශ්වාසය තබන්න.</verse>
				<verse number="6">හැම දෙයක දී ම සමිඳුන් සිහි කරන්න; එතුමා ඔබට හරි මඟ පෙන්වනු ඇත.</verse>
				<verse number="7">
					ඔබ මහ නැණවතෙකැ යි නොසිතන්න.
					සමිඳුන්ට ගරුබිය පා නපුරෙන් දුරු වන්න.
				</verse>
				<verse number="8">එසේ කළොත්, ඔබේ සිරුරට සුව සැප ද, ඔබේ ඇට මිදුළුවලට නව පණක් ද ලැබෙනු ඇත.</verse>
				<verse number="9">ඔබේ ධනසම්පතින් ද අස්වැන්නේ නාඹුල් පලයෙන් ද සමිඳුන් හට පුද පඬුරු දෙන්න.</verse>
				<verse number="10">එවිට ඔබේ අටුකොටු ධනධාන්‍යයෙන් පිරී ඉතිරී යනු ඇත; මහ මුද්‍රික බඳුන්වල නව මිදිපැන් උතුරා යනු ඇත.</verse>
				<verse number="11">
					මාගේ පුත්‍රය, සමිඳුන් දෙන විනය සුළු කොට නොසිතන්න.
					එතුමන්ගේ තරවටු ගැන නොකලකිරෙන්න.
				</verse>
				<verse number="12">
					පියෙකු සිය ප්‍රියාදර පුතු හට යම් සේ දඬුවම් කරන්නේ ද, එසේ ම සමිඳාණෝ සිය පෙම්වතුන්ට දඬුවම් දෙන සේක.
				</verse>
				<verse number="13">ප්‍රඥා සම්පත සොයාගන්නා, ඥාන සම්පත හිමි කරගන්නා, මිනිසාගේ වාසනාවක මහත!</verse>
				<verse number="14">එයින් ලැබෙන යසඉසුරු, රිදීයටත්, තනි රත්රනටත් වඩා අගනේ ය.</verse>
				<verse number="15">ප්‍රඥාව රතුකැටවලට වඩා අගනේ ය; ඔබේ සිත්ගන්නා කවර දෙයක් වුව ද එයට සම කළ නොහැකි ය.</verse>
				<verse number="16">දීර්ඝායු ප්‍රඥාවේ දකුණතෙහි ය: ධනසම්පත් හා කීර්තිය ඇගේ වමතෙහි ය,</verse>
				<verse number="17">ප්‍රඥාවගේ ක්‍රියා මාර්ග ජීවන රටාවට මනහර ය; ඇගේ සියලු මාවත් සත් හට සෙත් දෙයි.</verse>
				<verse number="18">ප්‍රඥාව අත්කර ගන්නන්ට ඈ ජීවන වෘක්ෂයකි; එවැනියන්ගේ වාසනාවක මහත!</verse>
				<verse number="19">සමිඳාණෝ ප්‍රඥාවෙන් පොළොවේ අත්තිවාරම් ලූ සේක. බුද්ධියෙන් අහස් මණ්ඩලය පිහිටෙවූ සේක.</verse>
				<verse number="20">එතුමන්ගේ ඥානයෙන් පොළොවේ ගැඹුරු තැන් කණිනු ලැබී ය; වලාකුළුවලින් පිනි බින්දු කාන්දු වනු ඇත.</verse>
				<verse number="21">මාගේ පුත්‍රය, විචක්ෂණ බුද්ධිය ද තීක්ෂණ ඥානය ද දියුණු කරගන්න. ඒවා ඔබ කෙරෙන් පහ ව යන්න ඉඩ නොදෙන්න.</verse>
				<verse number="22">ඒවා ඔබට ජීවනය ද ඔබේ ගෙලට ආභරණයක් ද වනු ඇත.</verse>
				<verse number="23">එවිට ඔබේ දෙපා නොපැකිළ, ඔබ සුව සේ ජීවන මඟ යනු ඇත;</verse>
				<verse number="24">සැතපෙන කල ඔබට බියක් නැත; ඔබේ නින්ද සැපදායක වනු ඇත.</verse>
				<verse number="25">හදිසි භීතියට වත් දුදනන්ගෙන් එන දුර්විපතට වත්, බිය නොවන්න.</verse>
				<verse number="26">සමිඳාණෝ ඔබ සුරක්නා සේක; ඔබේ දෙපා උගුලට අසු නොවන සේ රක්නා සේක.</verse>
				<verse number="27">ත්‍යාගශීලී වීමට හැකියාව තිබිය දී, උපකාර කිරීමට මැළි නොවන්න.</verse>
				<verse number="28">හැකියාව තිබිය දීත්, “ගොස් නැවත එන්න, හෙට දෙන්නෙමි”යි ඔබේ අසල්වැසියාට නොකියන්න.</verse>
				<verse number="29">ඔබේ අසල්වැසියා බිය සැක නැති ව යෙහෙන් වාසය කරද්දී, ඔහුට විරුද්ධ ව උපායක් නොයොදන්න.</verse>
				<verse number="30">ඔබට වරදක් නොකරන කෙනෙකු සමඟ නිකරුණේ නඩුහබයට නොබසින්න.</verse>
				<verse number="31">සාහසිකයෙකු ආදර්ශයට නොගන්න; ඔවුන් අනුගමනය නොකරන්න;</verse>
				<verse number="32">වංක සිත් ඇත්තෝ සමිඳුන්ට පිළිකුලකි; එතුමන්ගේ ප්‍රසාදය අවංක අය සමඟ ය.</verse>
				<verse number="33">දුදනන්ගේ මන්දිර මත සමිඳුන්ගේ සාපය වැටෙනු ඇත; සුදනන්ගේ නිවෙස්වලට එතුමාණෝ ආසිරි දෙන සේක.</verse>
				<verse number="34">
					නින්දා කරන අයට එතුමාණෝ නින්දා කරන සේක;
					යටහත් අයට ප්‍රසාදය දක්වන සේක.
				</verse>
				<verse number="35">නැණවතුන් හට කීර්තිය උරුම වේ; නැණ හීනයන් හට අපකීර්තිය හිමි වේ.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">මාගේ පුත්‍රයෙනි, පියාගේ අවවාදයට සවන් දෙන්න; නැණනුවණ ලැබීමට කන් යොමු කරන්න.</verse>
				<verse number="2">මන්ද, මම මනා උවදෙස් ඔබට දෙමි; මාගේ ඔවා බස් ඉවත නොදමන්න.</verse>
				<verse number="3">මම මාගේ පියාගේ ද මවගේ ද ළදබොළඳ ප්‍රියාදර එක ම පුත් රුවන වූයෙමි.</verse>
				<verse number="4">මාගේ පියා මට මෙසේ අවවාද කෙළේ ය: “මේ මා කියන දේ ඔබේ සිතේ නිදන් කරගන්න; මාගේ උපදෙස් රැක ජීවිත ලාභය විඳින්න.</verse>
				<verse number="5">ප්‍රඥාව ලබාගන්න, නැණනුවණ ලබාගන්න; එය අමතක නොකරන්න; මා පවසන උපදේශවලින් ඉවත් ව නොයන්න.</verse>
				<verse number="6">ප්‍රඥා සම්පත ඉවත නොදමන්න; එවිට ඈ ඔබ සුරක්ෂිත ව තබනු ඇත. ඇයට සෙනෙහස දක්වන්න; ඈ ඔබ ආරක්ෂා කරනු ඇත.</verse>
				<verse number="7">ප්‍රඥා සම්පත හැම සම්පතට ම වඩා උදාර ය; ඔබ රැස් කරගන්න සකල සම්පතට වඩා නැණනුවණ ලබාගන්න.</verse>
				<verse number="8">ඇයට ගරු සම්මාන පිරිනමන්න, එවිට ඈ ඔබ උසස් කරනු ඇත. ඇය සෙනෙහසින් වැළඳගන්න, එවිට ඈ ඔබ ගෞරවයට පමුණුවනු ඇත.</verse>
				<verse number="9">ඈ ඔබේ සිරසෙහි දිමුතු මල් මාලාවක් තබනු ඇත; තේජස් කිරුළක් පළඳවනු ඇත.”</verse>
				<verse number="10">මාගේ පුත්‍රය, සවන් දී, මේ මාගේ අවවාද මුළු සිතින් පිළිගන්න. එවිට ඔබ දිගායු වළඳනු ඇත.</verse>
				<verse number="11">ප්‍රඥාවේ මාර්ගය මම ඔබට උගන්වමි; හරි මාවත්වල මම ඔබ ගෙන යමි.</verse>
				<verse number="12">එවිට ඔබ ඇවිදින කල ඔබට අවහිරයක් නොවනු ඇත; ඔබ දුවන කල පැකිළීමක් නොවනු ඇත.</verse>
				<verse number="13">මාගේ උපදෙස් තරයේ පිළිගෙන, ඉවත නොලා, රැකගන්න. ඒවා ඔබට ජීවන සම්පත වේ.</verse>
				<verse number="14">අදමිටුන්ගේ මාවතෙහි පා නොතබන්න; දුදනන්ගේ පාරෙහි නොයන්න.</verse>
				<verse number="15">නපුරෙන් වළකින්න, එයට ඉඩ නොදෙන්න; එය දුරින් දුරු කොට, ඉදිරියට යන්න.</verse>
				<verse number="16">නපුරක් නොකළොත්, දුදනන්ට නින්දක් නැත; යමෙකු පාගා නොදැමුවොත්, ඔවුන්ට නින්දක් නැත.</verse>
				<verse number="17">කුරිරුකම ඔවුන්ගේ ආහාරය වේ, සැහැසිකම ඔවුන්ගේ පානය වේ.</verse>
				<verse number="18">එහෙත් දැහැමියන්ගේ මාවත උදේ පායන හිරු මෙන් ය, එය මද්දහනය දක්වා දීප්තියෙන් වැඩි වේගෙන යයි.</verse>
				<verse number="19">දුදනන්ගේ මඟ ගනඳුරින් වැසී ඇත; තමන් කුමක පැටලෙත් දැ යි ඔව්හු නොදනිති.</verse>
				<verse number="20">මාගේ පුත්‍රය, මා කියන දෙයට සවන් දෙන්න, මාගේ අවවාදයට කන් යොමු කරන්න.</verse>
				<verse number="21">ඒවා ඔබේ සිතින් පහ නොවේ වා; ඒවා ඔබේ හදවතෙහි නිදන් කර තබන්න.</verse>
				<verse number="22">ඒවායින් ඔබට ජීවන සම්පත ද ඔබේ සර්වාංගයට සුව සැපත ද අත් වේ.</verse>
				<verse number="23">අන් හැම දෙයට ම වඩා ඔබේ සිත රැකගන්න; මන්ද, ඔබේ දිවි මඟ හැඩගැසෙන්නේ එයිනි.</verse>
				<verse number="24">රැවටිලිකාර කියමන් ඔබෙන් පහකරන්න. කෛරාටික වදන් ඔබෙන් දුරලන්න.</verse>
				<verse number="25">දෙසිත් නැති ව එක එල්ලේ කෙළින් බලන්න; දෙගිඩියාවෙන් තොර ව ඉදිරිය බලා යන්න.</verse>
				<verse number="26">
					ඔබ යා යුතු මඟ හිතාමතා සලසාගන්න;
					එවිට ඔබ කරන සියල්ල ස්ථිර වනු ඇත.
				</verse>
				<verse number="27">හරි මඟින් දකුණට හෝ වමට හෝ නොහැරෙන්න; ඔබේ දෙපා නපුරෙන් දුරු කරගන්න.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">මාගේ පුත්‍රය, මාගේ ප්‍රඥා සම්පතට සිත යොමු කරන්න; මාගේ විමංසන බුද්ධියට අවධානය යොමු කරන්න.</verse>
				<verse number="2">එවිට ඥාන සම්පතින් ඔබ රැකෙනු ඇත. ඔබේ කතාව ප්‍රඥාසාර වනු ඇත.</verse>
				<verse number="3">වෙසඟනගේ දෙතොලින් මී පැණි වෑහෙයි; ඇගේ තෙපුල් ඔලීව තෙලට වඩා සුමුදු ය;</verse>
				<verse number="4">එහෙත් ඒවා අවසානයේ දී දිවි කදුරු මෙන් තිත්ත වනු ඇත; දෙපිට කැපෙන කඩුපතක් මෙන් තියුණු වනු ඇත.</verse>
				<verse number="5">ඇගේ දෙපා මරණය බලා යයි; ඇගේ පියවර පාතාල ලෝකයට යයි;</verse>
				<verse number="6">ඇය ජීවන මාර්ගය ගැන නොසලකයි; ඇගේ ක්‍රියා මාර්ග අස්ථිර ය, වගකීමෙන් තොර ය.</verse>
				<verse number="7">එබැවින් මාගේ පුත්‍රය, මට සවන් දෙන්න; මා පවසන ඔවා වදනින් ඈත් ව නොසිටින්න.</verse>
				<verse number="8">එවැනි ගැහැණියකගෙන් දුරු වී සිටින්න; ඇගේ දොරකඩට වත් නොයන්න.</verse>
				<verse number="9">එසේ යාමෙන්, ඔබේ ගෞරවය අනුන් ඉදිරියේ නැති කරගනු ඇත. ඔබේ ආයු නපුරු අය නිසා කෙටි වනු ඇත.</verse>
				<verse number="10">ඔබේ සැපසම්පතින් වෙන අය තෘප්තියට පත් වනු ඇත. ඔබ වැරවීරියෙන් උපයන දේ අන් ගෙදරකට අත් වනු ඇත.</verse>
				<verse number="11">අවසානයේ දී ඔබේ ඇඟපත දිරා ගොස්, ඔබ කෙඳිරිගානු ඇත.</verse>
				<verse number="12">එවිට ඔබ මෙසේ කියනු ඇත: අනේ මා විනය දහමට ද්වේෂ කළ හැටි! මාගේ සිතින් අවවාද සුළු කළ හැටි!</verse>
				<verse number="13">මම ධර්ම දේශකයන්ගේ බසට කීකරු නොවූයෙමි, ගුරු ඇදුරන්ගේ අවවාදයට කන් නුදුන්නෙමි.</verse>
				<verse number="14">හැම නපුරෙහි යෙදී නරක නමක් ලද්දෙමි, ප්‍රසිද්ධියේ ම මහ නින්දාවට පත් වුණෙමි.”</verse>
				<verse number="15">ඔබේ ම පොකුණේ ගලන ජලය ද ඔබේ ම ළිඳෙන් උනන වතුර ද බොන්න.</verse>
				<verse number="16">ඔබේ උල්පත පිටතට වත්, ජලධාරා වීදියට වත් ගලා යා යුතු නැත.</verse>
				<verse number="17">ඔබේ දූදරුවන් අන් අයට නොව, ඔබට ම සතු වස්තුවක් වේ වා!</verse>
				<verse number="18">ඔබේ උල්පත වන ප්‍රිය බිරිඳට සව්සිරි වේ වා! ඔබේ යොවුන් වියේ ප්‍රියාව සමඟ ම ප්‍රීතිය ආස්වාදය කරන්න.</verse>
				<verse number="19">සුලලිත මුව දෙනක හා සුකොමල පැටියෙකු මෙන් වූ, ඇගේ පියයුරුවලින් විනෝද වන්න. ඇගේ ආදරයෙහි සැමදා ම සතුටින් ඉපිළී යන්න.</verse>
				<verse number="20">මාගේ පුත්‍රය, ඔබ පරදාර සේවනයෙන් උමතු වන්නේ කුමට ද? සල්ලාල ගැහැණියක වැළඳගන්නේ මන් ද?</verse>
				<verse number="21">මිනිසාගේ සියලු ක්‍රියා මාර්ග සමිඳාණන් අබිමුවෙහි ඇත. ඔහුගේ සියලු මාවත් එතුමන්ගේ තියුණු බැල්මට ලක් වී ඇත.</verse>
				<verse number="22">දුදනාගේ පව්කම ඔහුට ම මලපතකි; ඔහු සිය පාප දැලෙහි පැටලෙයි.</verse>
				<verse number="23">ආත්මදමනයෙන් තොර මිනිසා වැනසෙයි; ඔහු නිම්හිම් නැති අනුවණකමින් මුළා වෙයි.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">මාගේ පුත්‍රය, ඔබ මිතුරෙකුට ඇප වී, අන් අයෙකු උදෙසා අත්තිකාරමක් දී,</verse>
				<verse number="2">ඔබේ වචනවලට අසු වී, ඔබේ පොරොන්දුවලට මැදි වී සිටින්නෙහි ද?</verse>
				<verse number="3">මාගේ පුත්‍රය, එසේ අසු වී සිටින්නෙහි නම්, මා කියන දේ කර ගැළවී යන්න; ඔබ ගොස්, ඔහුගේ දෙපා ළඟ වැටී පෙරැත්ත කරන්න.</verse>
				<verse number="4">නිදි නොගෙන, කිරා නොවැටී,</verse>
				<verse number="5">දඩයක්කාරයෙකු අතින් පැන දුවන තිත් මුවෙකු මෙන් ද උගුලක් ඇටවූ වැද්දෙකු අතින් ඉගිළී යන කුරුල්ලෙකු මෙන් ගැළවී යන්න.</verse>
				<verse number="6">අලසය, කුහුඹුවා වෙත ගොස් උගේ ගතිපැවතුම් බලා නැණවත් වන්න.</verse>
				<verse number="7">ඌට නායකයෙක් නැත, මුලාදෑනියෙක් නැත, පාලකයෙක් නැත.</verse>
				<verse number="8">එහෙත් ඌ ගිම්හානයේ දී ආහාර සපයා ගනියි; ගොයම් කපන සමයේ දී කෑම රැස් කර තබයි.</verse>
				<verse number="9">අලසය, ඔබ කොපමණ කල් නිදාගන්නෙහි ද? නින්දෙන් අවදි වන්නේ කොයි වේලාවෙහි ද?</verse>
				<verse number="10">
					‘තව ටිකක් නිදාගනිමි, තව ඇබිත්තක් සැතපෙමි, තව මඳක් අත් දෙක බැඳගනිමි’යි කියන ඔබ වෙතට,
				</verse>
				<verse number="11">දිළිඳුකම, සොරෙකු මෙන් ද හිඟකම, අවිගත් සෙබළෙකු මෙන් ද එනු ඇත.</verse>
				<verse number="12">සටකපට බස් දොඩමින් ඇවිදින, තැනැත්තේ දුදනෙකි, තක්කඩියෙකි.</verse>
				<verse number="13">ඔහු සිය දෙනෙතින් ඉඟි කරයි, දෙපයෙන් හැඟුම් දක්වයි, ඇඟිලිවලින් සංඥා කරයි.</verse>
				<verse number="14">ඔහුගේ සිත සටකපට ව ඇත, ඔහු නිතර ම නපුරට කුමන්ත්‍රණය කොට, වාද භේද පතුරුවාලයි.</verse>
				<verse number="15">එබැවින් ඔහුගේ නැස්පැත්තිය හදිසියෙන් එයි, ගැළවීමට මඟක් නැති ව, මොහොතකින් ඔහු සුණු වී යයි.</verse>
				<verse number="16">සමිඳාණන් නුරුස්සන කරුණු සයකි, එතුමන්ට පිළිකුල් කරුණු සතකි.</verse>
				<verse number="17">අහංකාර ඇස් ද බොරුකාර දිව ද නිදොස් ලේ වගුරුවන අත් ද</verse>
				<verse number="18">දුෂ්ට උපා යොදන සිත ද නපුරට වහා දුව යන පා ද මුසා බස් තෙපලන බොරු සාක්කිකරු ද</verse>
				<verse number="19">මිතුරන් අතර වාද භේද අවුස්සන අය ද වෙත්.</verse>
				<verse number="20">මාගේ පුත්‍රය, ඔබේ පියාගේ අනුශාසනා පිළිපදින්න; මවගේ උපදෙස් අත් නොහරින්න.</verse>
				<verse number="21">ඒවා නිරතුරු ඔබේ සිත්හි නිදන් කොට, මාලයක් මෙන්, ගෙල වටා බැඳගන්න.</verse>
				<verse number="22">ඔබ යන එන විට ඒවා මඟ පෙන්වයි; ඔබ නිදන විට රැකවල් කරයි; ඔබ අවදි වන විට අවවාද දෙයි.</verse>
				<verse number="23">අනුශාසනාව ඔබට පහනකි, උවදෙස් ඔබට එළියකි, ගුරූපදේශ ඔබට ජීවන මඟකි.</verse>
				<verse number="24">නරක ගැහැණියකගෙන් ද ඉච්චා බස් දොඩන අන් අඹුවන්ගෙන් ද ඒවා ඔබ රැකගනියි.</verse>
				<verse number="25">ඇගේ රුවට සිතින් ඇදී නොයන්න; ඇගේ නුවන’ග බැල්මෙන් ඈ ඔබ වසඟ කර නොගනී වා.</verse>
				<verse number="26">වෙසඟනක පතන්නේ පාන් ගෙඩියක මිල පමණකි; පර අඹුවක සොයන්නේ මුළු ජීවිතයකි.</verse>
				<verse number="27">ගිනිදැල් තුරුලු කර ගතහොත්, මිනිසෙකුගේ ඇඳුම් නොපිළිස්සේ ද?</verse>
				<verse number="28">ගිනි අඟුරු මත ඇවිද්දොත්, ඔහුගේ දෙපා නොදැවේ ද?</verse>
				<verse number="29">සිය අසල්වැසියාගේ බිරිඳ වෙත එළඹෙන අයට එසේ වේ. ඇයට අත තබන කිසිවෙක් දඬුවම් නොලැබ නොසිටියි.</verse>
				<verse number="30">සොරෙකු සිය සාගින්න නිවාගනු වස් සොරකම් කළත් මිනිස්සු ඔහු වරදින් නිදහස් නොකරති.</verse>
				<verse number="31">ඔහු අසුවුණොත් සත් ගුණයක් වන්දි ගෙවීමට සිදු වෙයි; සිය නිවසෙහි මුළු වත්කම ද දෙන්නට වෙයි.</verse>
				<verse number="32">පරදාර සේවනය කරන්නා අනුවණයෙකි; ඔහු තම ජීවිතය නාස්ති කරගන්නෙකි.</verse>
				<verse number="33">උවදුරු හා අවනම්බුව ඔහුට හිමි වෙයි; ඔහුගේ නින්දාව නොමැකී පවතියි.</verse>
				<verse number="34">මන්ද, කාම ක්‍රෝධය සැමියෙකු උදහස් කරලයි; පළිගන්න දවසේ දී ඔහුගෙන් සමාවක් නැත.</verse>
				<verse number="35">ඔහු කිසි වන්දි මුදලක් නොපිළිගනු ඇත; කොතරම් තෑගි පිරිනැමුවත් ඔහු සතුටු නොවනු ඇත.</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">මාගේ පුත්‍රය, මාගේ ඔවා බස් පිළිපදින්න; මාගේ ආඥා සිතෙහි තැන්පත් කරගන්න.</verse>
				<verse number="2">මාගේ ආඥා පැවැත්වුවහොත් ඔබට ජීවනය ඇත; මාගේ උවදෙස් ඔබේ දෙනෙත මෙන් රැකගන්න.</verse>
				<verse number="3">ඇඟිලිවල මුදු මෙන් ඒවා නිරතුරු තබාගන්න, ඔබේ සිත් නමැති පුවරුවෙහි ඒවා සටහන් කරගන්න.</verse>
				<verse number="4">ප්‍රඥාව ඔබේ සොහොයුරිය මෙන් ද නැණනුවණ ඔබේ මිතුරිය මෙන් ද සලකන්න.</verse>
				<verse number="5">එවිට ඔබ දුරාචාර කාන්තාවගෙන් ද ඉච්චා බස් දොඩන වෙසඟනගෙන් ද ආරක්ෂා වනු ඇත.</verse>
				<verse number="6">එක දිනක්, මාගේ ගෙයි කවුළුවේ ගරාදි අස්සෙන් පිටත බැලුවෙමි.</verse>
				<verse number="7">එවිට අනුවණයන් අතර මෝඩ තරුණයෙකු සිටිනු දුටිමි.</verse>
				<verse number="8">ඔහු, අඳුර වැටෙද්දී, ගොම්මං වේලාවේ දී, මැදියම් රෑ කළුවරෙහි දී,</verse>
				<verse number="9">ඇගේ ගේ අද්දර වීදිය පසු කොට ඇගේ ගෙට යන මාවතෙහි ගමන් කෙළේ ය.</verse>
				<verse number="10">එවිට ඈ වෙසඟනකගේ වස්ත්‍ර හැඳ, රැවටිලිකාර ස්ත්‍රියක මෙන් ඔහුට මුණගැසුණා ය.</verse>
				<verse number="11">ඈ අඟරදඟර කරන චපල ස්ත්‍රියකි, ඈ කොයි වේලාවෙත් ගෙදර නැත.</verse>
				<verse number="12">විටක ඈ වීදිවල ද විටක ඈ වෙළෙඳ පොලේ ද සෑම මංසන්දියක ද සෝදිසියෙන් බලා සිටියි.</verse>
				<verse number="13">මෙසේ ඈ ඔහු අල්ලා සිඹගෙන, විළි ලජ්ජා කිසිත් නැති ව ඔහුට මෙසේ කීවා ය:</verse>
				<verse number="14">“මම අද මාගේ පුද පූජා පැවැත්වීමි; බාරහාර ඉෂ්ට කෙළෙමි.</verse>
				<verse number="15">ඔබ හමු වන පිණිස ආශාවෙන් ඔබ සොයා ආයේ ඒ නිසා ය. දැන් ඉතින් ඔබ මට හමු විය.</verse>
				<verse number="16">මිසරයේ පාට පාට නූල්වලින් කළ විසිතුරු ඇතිරිලි මා යහනෙහි අතුරා ඇත.</verse>
				<verse number="17">සුවඳලාටුවලින් ද අගිල්වලින් ද කුරුඳුවලින් ද මාගේ යහනට සුවඳ කැවීමි.</verse>
				<verse number="18">එන්න, උදය වන තුරු පෙම් බඳුනෙන් බොමු; ආදරය බී මත්වෙමු.</verse>
				<verse number="19">අද මාගේ පුරුෂයා ගෙදර නැත; ඔහු ඈත දුර ගමනක් ගොස් ඇත.</verse>
				<verse number="20">ඔහු බොහෝ මුදල් රැගෙන ගියේ ය; මහ පෝය වන තුරු ඔහු ගෙදර එන්නේ නැත.”</verse>
				<verse number="21">ඇගේ මේ රැවටිලි වදනින්, ඈ ඔහු කැමැති කරවා, ඉච්චා තෙපුලින් ඈ ඔහු වශී කරගන්නී ය.</verse>
				<verse number="22">එකෙණෙහි ම ඔහු, ඝාතනයට ගෙන යන ගොනෙකු මෙන් ද මලපුඩුවට දුවන මුවෙකු මෙන් ද</verse>
				<verse number="23">උගුලට වහා පියාඹා යන පක්ෂියෙකු මෙන් ද ඇය කැටුව ගියේ ය. ඊගස ඔහුගේ අක්මාව විදගෙන යන තුරු, තමන් අනතුරෙහි සිටින බව ඔහු නොදත්තේ ය.</verse>
				<verse number="24">එබැවින් මාගේ පුත්‍රය, මට සවන් දෙන්න, මා පවසන ඔවා බසට අවධානය යොමු කරන්න.</verse>
				<verse number="25">ඇගේ මාවත්වල යාමට ඔබේ සිත නොපෙළඹේ වා! ඇගේ මාර්ගවල මං මුළා නොවන්න.</verse>
				<verse number="26">බොහෝ දෙනෙක් ඇගෙන් නාස්තියට පත් වූ හ; ඈ නිසා විපතට පත් වූ අයගේ ගණන් විශාල ය.</verse>
				<verse number="27">ඇගේ නිවස පාතාලයට යන මඟ ය, මරුගේ මැදිරිවලට බැස යන මාවත ය.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">ප්‍රඥා තුමීගේ මොරගැසීම අසන්න; ඥානාංගනාවගේ හඬගැසීමට සවන් දෙන්න.</verse>
				<verse number="2">ඕ තොමෝ කඳු මුදුන්හි ද පාර අද්දර ද මංසන්දිවල ද සිටින්නී ය.</verse>
				<verse number="3">නගරයට පිවිසෙන වාසල් දොරටු ළඟ ඈ හඬ නඟා මෙසේ කියන්නී ය:</verse>
				<verse number="4">“සෙනඟෙනි, මාගේ ආයාචනය ඔබට ය, මම හැම මිනිසාට ම කතා කරමි.</verse>
				<verse number="5">අනුවණයෙනි, නුවණ ලබාගන්න, දැනුම්තේරුම් ඇති අය වන්න; මෝඩයෙනි, කල්පනාකාරී වන්න.</verse>
				<verse number="6">අසන්න, මම උදාර දේ පවසමි. මා මුවින් පවසන හැම දෙය ම සැබෑ ය.</verse>
				<verse number="7">මම සත්‍යය මිස අන් කිසිවක් නොකියමි. දුෂ්ට කතා මට පිළිකුලකි.</verse>
				<verse number="8">මා කියන කවර දේත් සාධාරණ ය, ඒවායෙහි ඇදකුද, හොරබොරු කිසිත් නැත.</verse>
				<verse number="9">නුවණැත්තන්ට ඒ සියල්ල සක්සුදක් සේ පැහැදිලි ය; දැනුම ඇත්තන්ට ඒවා හරි බව වැටහේ.</verse>
				<verse number="10">රිදීයට වඩා මාගේ ගුරුහරුකම් ද පෙරූ රනට වඩා දැනගැන්ම ද පිළිගන්න.</verse>
				<verse number="11">මන්ද, ප්‍රඥාව රතු කැටවලට වඩා අගනේ ය; ඊට සම කළ හැකි මිණිමුතු කිසිත් නැත.</verse>
				<verse number="12">මාගේ නාමය ප්‍රඥා තොමෝ ය. මම තීක්ෂණ බුද්ධිය ප්‍රදානය කරමි. දැනුම හා විමංසන බුද්ධිය මම පහදා දෙමි.</verse>
				<verse number="13">දේව ගරුබිය පෑම නපුරට ද්වේෂ කිරීම ය. මම උඩඟුකමට ද අහංකාරකමට ද නපුරු කල්ක්‍රියාවට ද මුසාවාදයට ද තදින් වෛර කරමි.</verse>
				<verse number="14">මන්ත්‍රණයෙහි දක්ෂතාව හා විමංසන බුද්ධිය මට ඇත; ස්ථානෝචිත ප්‍රඥාව හා බල මහිමය ද මා සතු ය.</verse>
				<verse number="15">මාගේ පිහිටෙන් භූපතීහු රජකම් කරති; අධිපතීහු සාධාරණ නීති පණවති;</verse>
				<verse number="16">මාගේ වරමින් අධිපතීහු රට පාලනය කරති; ලොව සියලු මැති ඇමතිවරු රට ආණ්ඩු කරති.</verse>
				<verse number="17">මට පෙම් කරන්නන්ට මමත් පෙම් කරමි, මා සොයන්නන්ට මා සම්බ වනු ඇත.</verse>
				<verse number="18">වස්තුව ද ගෞරවය ද අසීමිත සම්පත් ද දැහැමි ජීවිතයේ ආසිරි ද මා වෙත ඇත.</verse>
				<verse number="19">මාගේ අස්වැන්න රනට, පෙරූ රනට වඩා අගනේ ය; මාගෙන් ලැබෙන සම්පත් හොඳ ම රිදීයට වඩා ශ්‍රේෂ්ඨ ය.</verse>
				<verse number="20">මට පෙම් කරන්නන්ට වස්තුව හිමි කර දීමෙන්</verse>
				<verse number="21">ඔවුන්ගේ ගබඩා පුරවා දමිටු මඟෙහි ද යුක්තියේ මංවල ද මම සැරිසරමි.</verse>
				<verse number="22">
					සමිඳාණෝ තමන් මැවූ හැම දෙයට ම පෙර සියලු මැවිලිවල පළමුවැන්නා මෙන් මා මැවූ සේක.
				</verse>
				<verse number="23">දූරාතීතයෙහි, මහ පොළොව ඇති වන්නට පෙර, ආරම්භයේ දී, මම මවනු ලැබුවෙමි.</verse>
				<verse number="24">සත් සමුදුර ඇති වන්නට පෙර ජලය පිරුණු උල්පත් නොවූ සමයෙහි මම ජනිත වූයෙමි.</verse>
				<verse number="25">ගිරිකුළු හා කඳුවැටි නියම තැන්වල පිහිටෙන්නට පෙර, මාගේ උපත විය.</verse>
				<verse number="26">සමිඳාණන් මහ පොළොව හා කෙත් වතු මවන්නට පෙර, ප්‍රථම පස් පිඩැල්ල සාදන්නට පෙර, මම ඉපිද සිටියෙමි.</verse>
				<verse number="27">සමිඳාණන් අහස් කුස පිහිටෙවු කල ද, මම එහි සිටියෙමි. එතුමන් මුහුද මත නිම් වළල්ල තබන විට,</verse>
				<verse number="28">ඉහළ අහසෙහි වලාකුළු පිහිටුවන විට, සත් සමුදුර උල්පත් සවි කරන විට,</verse>
				<verse number="29">මුහුදු ජලය එහි සීමා පසු කර නොබිඳී යන සේ, මායිම් තබන විට, පොළොවේ පදනම් සලකුණු කරන විට මම එහි සිටියෙමි.</verse>
				<verse number="30">මම එතුමන්ගේ නිර්මාණ ශිල්පියෙකු මෙන් ළඟ සිටියෙමි. නිරතුරු එතුමන් අබිමුව ප්‍රමුදිත වෙමින්, දිනෙන් දින එතුමන්ගේ ප්‍රීතිය වූයෙමි.</verse>
				<verse number="31">එතුමන් මවා නිම කළ ලොවෙහි ලෝවැසියන් සමග සන්තෝෂ වූයෙමි.</verse>
				<verse number="32">ඒ නිසා, මාගේ පුත්‍රයෙනි, මට සවන් දෙන්න; මාගේ මාර්ග රක්නා අය භාග්‍යවන්තයෝ ය.</verse>
				<verse number="33">මාගේ උපදෙස් ප්‍රතික්ෂේප නොකරන්න; ඊට කන් දී නැණවත් වන්න.</verse>
				<verse number="34">දිනෙන් දින මාගේ වාසල් දොරටු ළඟ සිට, මාගේ ද්වාර මණ්ඩප රැකවල් කොට, ඔවදන් අසන මිනිසා භාග්‍යවන්තයෙකි.</verse>
				<verse number="35">මා සොයාගන්නා ජීවනය සොයාගනියි. සමිඳුන්ගේ අනුග්‍රහය ද ඔහු සතු වේ.</verse>
				<verse number="36">එහෙත් මා සොයා නොඑන්නා තමාට ම අනතුරු කරගනියි. මට වෛර වන සියල්ලෝ මරණයට පෙම් කරති.”</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">ප්‍රඥාව ඇගේ මන්දිරය ඉදි කර ඇත, එහි කුළුණු සතක් සාදා ඇත.</verse>
				<verse number="2">සතුන්ගේ මසින් ද රස කැවූ මිදිරසයෙන් ද ඇගේ මඟුල් මේසය පිළියෙළ කොට ඇත.</verse>
				<verse number="3">තමන් පිටත් කර යැවූ සේවිකාවන් ලවා, නගරයේ ඉහළ ම තැන සිට ඈ මෙසේ ආරාධනා කරන්නී ය:</verse>
				<verse number="4">“අනුවණ ජනතාවෙනි, මෙහි පිවිසෙන්න.” මෝඩ මිනිසුන්ට ඈ මෙසේ කියන්නී ය:</verse>
				<verse number="5">“එන්න මාගේ බොදුන් අනුභව කොට, රස කැවූ මිදිරස පානය කරන්න.</verse>
				<verse number="6">අනුවණකම හැරදමා ජීවත් වන්න; නැණනුවණ මාවතෙහි ගමන් කරන්න.”</verse>
				<verse number="7">ගරහන්නෙකුට ඔවා බස් දෙන්නා හට ඇති වන්නේ ලජ්ජාව පමණ ය; දුදනෙකුට තරවටු කරන්නා හට ඇති වන්නේ සිත් වේදනාව පමණ ය.</verse>
				<verse number="8">ගරහන්නෙකුට කිසිදාක අවවාද නොකරන්න; අවවාද කළොත්, ඔහු ඔබට සතුරෙක් වනු ඇත. නුවණැත්තෙකුට අවවාද කරන්න, ඔහු ඔබට මිතුරෙකු වනු ඇත.</verse>
				<verse number="9">බුද්ධිමතෙකුට අනුශාසනා කරන්න, ඔහු තවත් බුද්ධිමත් වෙයි. දැහැමියෙකුට උගන්වන්න, ඔහුගේ දැනුම තවත් දියුණු වෙයි.</verse>
				<verse number="10">
					දේව ගරුබිය ප්‍රඥාවේ මුල් පියවර වේ, ශුද්ධ දෙවිඳුන් ගැන දැනුම නැණනුවණ වේ.
				</verse>
				<verse number="11">ප්‍රඥා වරමින් ඔබේ කාලය දික් වී, ඔබ දිගායු වළඳනු ඇත.</verse>
				<verse number="12">ඔබ නැණවත් වුවහොත්, එහි වාසිය ඔබට ම ය; ඔබ ඥානය ප්‍රතික්ෂේප කළොත්, ඉන් වන අවාසියත් ඔබට ම ය.</verse>
				<verse number="13">අමනකම වූ කලී, කටකාර, අනුවණ, විලිබිය නැති ගැහැණියක වැනි ය.</verse>
				<verse number="14">ඇගේ ම ගෙදර දොරකඩ හෝ නගරයේ ඉහළ ම තැන්වල හෝ ඈ අසුන්ගන්නී ය.</verse>
				<verse number="15">තමාගේ පාඩුවේ වැඩට යන මගීන් මුළා කරනු වස්</verse>
				<verse number="16">ඈ මෙසේ කියන්නී ය: “අනුවණ ජනයෙනි, මෙහි පිවිසෙන්න.” ඈ මෝඩ මිනිසුන්ට මෙසේ කියන්නී ය:</verse>
				<verse number="17">“සොරාගත් වතුර ඉමිහිරි ය, සොරාගත් කෑම වඩා රස ය.”</verse>
				<verse number="18">ඈ කැඳවන අය, මරණය එහි ඇති බව ද පාතාලයෙහි ගැඹුරු තැන වැටී ඇති බව ද නොදනිති.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">සලමොන් නිරිඳුන්ගේ හිතෝපදේශ මේ ය: නැණවත් පුතා පියා හට ප්‍රීතියකි, අනුවණ පුතා මවට ශෝකයකි.</verse>
				<verse number="2">වංකකමින් ලබන වස්තුව නිෂ්ඵල වෙයි; එහෙත් අවංකකම මරණින් මුදයි.</verse>
				<verse number="3">සමිඳාණෝ දැහැමි දනා හාමතට නොහරින සේක; එහෙත් දුදනන්ගේ මන දොළ නිෂ්ඵල කරන සේක.</verse>
				<verse number="4">අලසකමින් දිළිඳුකම උපදියි; කඩිසරකමින් ධනය උපදියි.</verse>
				<verse number="5">ගිම්හානයෙහි අස්වැන්න රැස් කරන්නා නැණවත් පුතෙකි; අස්වැන්න කාලයෙහි නිදන්නා නින්දිත පුතෙකි.</verse>
				<verse number="6">දැහැමියන්ගේ හිස මත ආසිරි පැතිරෙයි; දුදනන්ගේ වචනවල සැහැසිකම සැඟවෙයි.</verse>
				<verse number="7">දැහැමි දනා සැමරීම වාසනාවකි; එහෙත් දුදනන්ගේ නාමය පිළිකුලකි.</verse>
				<verse number="8">පැණවතා අණපණත් පිළිගනියි; නන්දොඩන මෝඩයා වැනසී යයි.</verse>
				<verse number="9">අවංක ව හැසිරෙන්නා සුව සේ වසයි; වංක මඟෙහි යන්නාගේ ක්‍රියා එළි වෙයි.</verse>
				<verse number="10">වපර ඇසින් වරද දෙස බලන්නා කරදර උපදවයි; එහෙත් නිර්භය විවේචනය කරන්නා සාමය ගෙන දෙයි.</verse>
				<verse number="11">සුදනන්ගේ කතාව ජීවන උල්පතකි; දුදනන්ගේ වචනවල සැහැසිකම සැඟවී ඇත.</verse>
				<verse number="12">
					වෛරය කලහ උපදවයි;
					ප්‍රේමය වැරදි නොතකයි.
				</verse>
				<verse number="13">නුවණැත්තා සිහිනුවණින් කතා කරයි; අනුවණයා කස පහර ලැබිය යුතුයි.</verse>
				<verse number="14">නැණවත්හු දැනුම රැස් කරගනිති; එහෙත් මෝඩයන්ගේ කතාව විනාශය ළං කරගනියි.</verse>
				<verse number="15">ධනවතාගේ ධනසම්පත ඔහුට බලකොටුවකි; දිළින්දාගේ දිළිඳුකම ඔහුට විනාශයකි.</verse>
				<verse number="16">දමිටුන්ගේ විපාකය ජීවනය වේ; අදමිටුන්ගේ විපාකය විනාශය වේ.</verse>
				<verse number="17">ශික්ෂා පිළිපදින්නා ජීවන මඟ යයි; අවවාදයට පිටු පාන්නා මුළා වී යයි.</verse>
				<verse number="18">බොරු කියන්නා වෛරය උපදවන්නෙකි; කේලාම් පතළ කරන්නා අඥානයෙකි.</verse>
				<verse number="19">කතාව වැඩි තැන වරදට ඉඩ ඇත; සිය මුව රැකගන්නා නුවණැත්තෙකි.</verse>
				<verse number="20">සුදනන්ගේ තෙපුල් පිරිසිදු රිදී මෙනි; දුදනන්ගේ බසෙහි කිසි හරයක් නැත.</verse>
				<verse number="21">දැහැමියන්ගේ බස් බහු ජන හිත සුව පිණිස වේ; එහෙත් අනුවණයෝ අනුවණකමින් වැනසෙති.</verse>
				<verse number="22">සමිඳුන්ගේ ආසිරි සෞභාග්‍යය සලසයි; දැඩි ශ්‍රමයෙන් එය වැඩි කළ නොහැක.</verse>
				<verse number="23">අනුවණයාගේ විනෝදය නපුරු ක්‍රියා කිරීම ය; නුවණැත්තාගේ ප්‍රීතිය ප්‍රඥාව ලැබීම ය.</verse>
				<verse number="24">දුෂ්ටයා බිය වන දේ ම ඔහු පිටට එයි; ධර්මිෂ්ඨයා කැමැති වන දේ ම ඔහුට දෙනු ලැබෙයි.</verse>
				<verse number="25">සැඬ සුළඟ පහවෙත් ම දුදනෝ ද පහ වී යති; එහෙත් සුදනන්ගේ අත්තිවාරම් සදා පවතිනු ඇත.</verse>
				<verse number="26">අලසයාගෙන් කිසි වැඩක් නොගන්න; ඔහු, දත්වලට විනාකිරි ද ඇස්වලට දුම ද මෙන් වනු ඇත.</verse>
				<verse number="27">සමිඳුන් කෙරෙහි ගෞරවය දිගාසිරි දෙයි; එහෙත් දුෂ්ටයෝ අඩු වයසින් මිය යන්නහු ය.</verse>
				<verse number="28">දමිටුන්ගේ පැතුම සොම්නස ගෙන දෙයි; අදමිටුන්ගේ පැතුම නිෂ්ඵල වෙයි.</verse>
				<verse number="29">සමිඳුන්ගේ මඟ අවංක අයට බලකොටුවකි; අයුතුකම් කරන්නන්ට එය මහ විපතකි.</verse>
				<verse number="30">දැහැමියා සිය තැනින් කිසිදා නොසෙල් වෙයි; එහෙත් දුෂ්ටයාට දේශයෙහි තැනක් නැති වෙයි.</verse>
				<verse number="31">දැහැමියාගේ මුවින් ප්‍රඥාව ගලා යයි; එහෙත් ප්‍රයෝගකාරී දිව සිඳදමනු ලැබෙයි.</verse>
				<verse number="32">දැහැමියා සිය මුවින් ප්‍රස්තාවෝචිත දේ කියයි; එහෙත් දුෂ්ටයා කතාවෙන් කැරලිකාර දේ පවසයි.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">හොර තරාදිය සමිඳුන්ට පිළිකුලකි; හරි පඩි සමිඳුන්ට ප්‍රීතියකි.</verse>
				<verse number="2">අහංකාරය සමඟ නින්දාව එයි; එහෙත් යටහතුන් වෙත ප්‍රඥාව ඇත.</verse>
				<verse number="3">අවංක අයට අවංකකම මඟපෙන්වයි. ද්‍රෝහියා සිය ද්‍රෝහිකමින් විනාශ වෙයි.</verse>
				<verse number="4">මැරෙන දිනයේ දී සම්පතින් වැඩක් නැත; එහෙත් දැහැමි ජීවිතය මරණින් මුදයි.</verse>
				<verse number="5">දැහැමිකමින් නිදොස් මිනිසාගේ ජීවිත ගමන පහසු වේ; අදමිටුකමින් අදමිටුන්ගේ ම වැටීම සිදු වේ.</verse>
				<verse number="6">අවංක අය සිය දැහැමිකමින් ගැළවෙති; එහෙත් ද්‍රෝහියෝ සිය කූටෝපායවලට අසු වෙති.</verse>
				<verse number="7">දුදනාගේ මරණය සමඟ ඔහුගේ පැතුම ද නැසෙයි; අභක්තිකයන්ගේ ප්‍රාර්ථනා ද එසේ ම නැසෙයි.</verse>
				<verse number="8">ධර්මිෂ්ඨයා විපතෙන් මිදෙනු ඇත; දුෂ්ටයා මිදෙනු වෙනුවට විපතට පත් වෙනු ඇත.</verse>
				<verse number="9">අභක්තිකයාගේ බසින් මිනිස්සු විනාශ වෙති; එහෙත් දමිටු අය ප්‍රඥාවෙන් ගැළවෙති.</verse>
				<verse number="10">දැහැමි අයට සෙත සැලසෙන විට නගරය ප්‍රීති වෙයි; නොදැහැමියන් නසින විට නගරය ඔල්වර හඬ නඟයි.</verse>
				<verse number="11">අවංක අයගේ ආශීර්වාදයෙන් නගරය උසස් වෙයි; එහෙත් දුදනන්ගේ වදනින් එය බිඳ වැටෙයි.</verse>
				<verse number="12">සිය අසල්වැසියා හෙළා දකින්නා අනුවණයෙකි; එහෙත් නුවණැත්තා නිහඬ ව සිටියි.</verse>
				<verse number="13">කේලාම් පතුරන්නා රහස් හෙළි කරයි. එහෙත් විශ්වාසවන්තයා රහස් සඟවා තබාගනියි.</verse>
				<verse number="14">දක්ෂ නායකත්වය නැති තැන සෙනඟ පිරිහෙති; එහෙත් අනුශාසකයන් රැසක් සිටියොත් රට සුරැකේ.</verse>
				<verse number="15">නොදන්න කෙනෙකුට ඇප වෙන්නා විපතට පැමිණෙයි; එසේ ඇප නොවෙන්නා සුරැකි ව සිටියි.</verse>
				<verse number="16">විනීත වනිතාව ආත්ම ගෞරවය දිනාගනියි; එහෙත් අවිනීත ස්ත්‍රිය නින්දාවකි. අලසයා අත කිසි විටෙක මුදල් නැත; උත්සාහවන්තයා ධනවත් වෙයි.</verse>
				<verse number="17">කාරුණික මිනිසා තමාගේ ම මිතුරා ය; ක්‍රෑර මිනිසා තමාගේ ම සතුරා ය.</verse>
				<verse number="18">දුෂ්ටයා වංචාවෙන් ලබන දේ මායාවකි. එහෙත් යහපත වපුරන්නාට අස්වැන්නක් නියත ය.</verse>
				<verse number="19">දැහැමි ජීවිතයෙහි පිහිටි අය ජීවනය ලබති; නපුරු මඟ යන්නෝ මරණය ළඟා කර ගනිති.</verse>
				<verse number="20">වංක අය සමිඳුන් හට පිළිකුලකි; අවංක අය එතුමන්ට සතුටකි.</verse>
				<verse number="21">දුෂ්ටයා දඬුවම් ලබනු සහතික ය; එහෙත් සුදනන්ගේ පරපුර ඉන් නිදහස් වනු ඇත.</verse>
				<verse number="22">ඌරෙකුගේ හොම්බෙහි ලූ රන් මුදුව යම් සේ ද අනුවණ කාන්තාවගේ රූ සපුව ද එසේ ම ය.</verse>
				<verse number="23">දමිටුන්ගේ මන දොළ හුදෙක් යහපත සඳහා වේ; දුදනන්ගේ පැතුමෙන් කිසි වැඩක් නැත.</verse>
				<verse number="24">කෙනෙක් අත මිට දිගහැර දෙතත් පොහොසත් වෙති; තව කෙනෙක් දැඩි මසුරුකමින් දෙතත් දිළිඳු වෙති.</verse>
				<verse number="25">ත්‍යාගශීලී වන්න, එවිට ඔබ පොහොසතෙක් වන්නෙහි ය; අන්‍යයන්ට ආධාර කරන්න, අන්‍යයෝ ඔබට ආධාර කරති.</verse>
				<verse number="26">අනුන්ට නො දී ධාන්‍ය රැස් කරන්නාට සෙනඟ සාප කරනු ඇත; එහෙත් එය විකුණන්නා හට ආසිරි ලැබෙනු ඇත.</verse>
				<verse number="27">යහපත ගැන වීර්ය කරන්නා කරුණාව ලබයි; එහෙත් නපුර සොයන්නා නපුර ම ලබයි.</verse>
				<verse number="28">වස්තුව කෙරේ විශ්වාසය තබන්නා වියළි කොළයක් මෙන් වැටෙයි; එහෙත් ධර්මිෂ්ඨයා අමු කොළයක් මෙන් සශ්‍රීක වෙයි.</verse>
				<verse number="29">සිය පවුල අවුල් කරන්නාට හුළං බොන්න වෙයි; මෝඩයා පැණවතා හට වහලෙකු වනු ඇත.</verse>
				<verse number="30">ධර්මිෂ්ඨයා ජීවන වෘක්ෂයක් මෙන් පල දරයි; එහෙත් සැහැසි අයට එය නැති වී යයි.</verse>
				<verse number="31">
					බලන්න, ධර්මිෂ්ඨයා මොලොව දී හොඳ ප්‍රතිඵල ලබයි;
					ඊට කොතරම් වැඩියෙන් දුෂ්ටයා හා පාපිෂ්ඨයා දුර්විපාක නොලබත් ද?
				</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">අවවාදය පිළිගන්නා දැනුමට පෙම් කරන්නෙකි; එහෙත් තරවටුව නොඉවසන්නා මෝඩයෙකි.</verse>
				<verse number="2">සත්පුරුෂයා සමිඳුන්ගෙන් ප්‍රසාදය ලබයි; එහෙත් දුෂ්ට උපා යොදන්නා එතුමාණෝ වරදට පත් කරන සේක.</verse>
				<verse number="3">දුෂ්ටකමින් මිනිසෙකුට ස්ථිර ජීවිතයක් නැත; එහෙත් දැහැමියාගේ ගුණ කිසිදා මුලින් උදුරාදැමිය නොහැකි ය.</verse>
				<verse number="4">ගුණසම්පන්න වනිතාව ඇගේ ස්වාමි පුරුෂයාට කිරුළකි; එහෙත් ඔහුට අවමන් ගෙන දෙන කාන්තාව ඔහුගේ ඇටකටුවලට පිළිකාවකි.</verse>
				<verse number="5">දැහැමියන්ගේ අදහස් යුක්ති සහගත ය; දුෂ්ටයන්ගේ කුමන්ත්‍රණ වංචනික ය.</verse>
				<verse number="6">දුෂ්ටයන්ගේ වචන මරණ උගුලකි; එහෙත් අවංක අයගේ බස් ගැළවීමකි.</verse>
				<verse number="7">දුෂ්ටයෝ වැටී නැත්තට ම නැති වෙති; එහෙත් දැහැමියන්ගේ පරපුර සදහට ම පවතියි.</verse>
				<verse number="8">මිනිසෙකුගේ ප්‍රඥාවේ තරමට ඔහු කීර්තිය ලබයි; එහෙත් වංක සිත අපකීර්තියට ලක් වෙයි.</verse>
				<verse number="9">පුහු මානය සොයමින් කුසගින්නෙන් පෙළීමට වඩා චාම් ගතියෙන් ජීවිකාව ගෙන යෑම යෙහෙකි.</verse>
				<verse number="10">දැහැමි අය සිය තිරිසන් සතුන්ගේ ප්‍රාණය ගැන සලකති; අදමිටු අය උන්ට ක්‍රෑරතර ය.</verse>
				<verse number="11">වැර වීරියෙන් වගා කරන්නාට බතබුලත බහුල ය; නිෂ්ඵල ව්‍යාපාරවල යෙදෙන්නා මෝඩයෙකි.</verse>
				<verse number="12">දුෂ්ටයාගේ බලකොටුව මැටි පවුරක් මෙන් බිඳ වැටෙයි; එහෙත් දැහැමියන්ගේ පදනම් සදහට ම පවතියි.</verse>
				<verse number="13">දුෂ්ටයාගේ මුසා බස් ඔහුට ම මලපතක් වෙයි; එහෙත් ධර්මිෂ්ඨයා විපතෙන් ජය ගනියි.</verse>
				<verse number="14">එක් මිනිසෙක් සිය වදනින් සඵලවත් වෙයි; තව මිනිසෙක් තම ශ්‍රමයෙන් ප්‍රතිඵල ලබාගනියි.</verse>
				<verse number="15">අනුවණයා තමා හරි යයි සැම විට ම සිතාගනියි; නුවණැත්තා ඔවා බසට සවන් දෙයි.</verse>
				<verse number="16">මෝඩයා සිය කෝපය වහා පෙන්වයි; බුද්ධිමතා අපහාසය නොතකා හරියි.</verse>
				<verse number="17">ඇත්ත කියන්නා සත්‍යය දක්වයි; බොරු සාක්ෂිකරු වංචාව ද දක්වයි.</verse>
				<verse number="18">කේලාම් බස් කඩුපතක් මෙන් තුවාළ කරයි; නැණවතාගේ බස් සුව සෙත ගෙන දෙයි.</verse>
				<verse number="19">ඇත්ත කියන කට සදහට ම ස්ථිර ව ඇත; බොරු කියන දිව එක මොහොතකට පමණි.</verse>
				<verse number="20">නපුරට මාන බලන්නාගේ සිතෙහි වංචාව ඇත; සාම සම්මන්ත්‍රණ කරන්නන්ට ප්‍රීතිය ඇත.</verse>
				<verse number="21">දැහැමි අයට කිසිදු අනතුරක් සිදු නොවේ ම ය; දුෂ්ටයන්ට සතර දිගින් විපත ගලා එයි.</verse>
				<verse number="22">බොරුකාර තොල් සමිඳුන් හට පිළිකුලකි; අවංක අය සමිඳුන් හට ප්‍රියමනාප ය.</verse>
				<verse number="23">බුද්ධිමතා තම දැනුම ගැන පුරසාරම් නොදොඩයි; අනුවණයෝ තම අනුවණකම් පතුරුවා හරිති.</verse>
				<verse number="24">කාර්යක්ෂම අත රට පාලනය කරයි; අලසයෝ වහල් සේවයට යට වෙති.</verse>
				<verse number="25">සිත්තැවුල මිනිස් සිතට පීඩා කරයි. කාරුණික වචනය සිතට ප්‍රීතිය දෙයි.</verse>
				<verse number="26">ධර්මිෂ්ඨයා සිය අසල්වැසියා හට මඟපෙන්වයි; දුෂ්ටයන්ගේ මාර්ගය ඔවුන් මුළා කරයි.</verse>
				<verse number="27">අලසයා දඩයමේ ගියත් කෑමට මස් නොලබයි; එහෙත් කඩිසර මිනිසා සාර අස්වැන්නක් ලබයි.</verse>
				<verse number="28">දැහැමි මාවතෙහි ජීවනය ඇත; අදමිටු මඟෙහි මරණය ඇත.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">පැණවත් පුතා පියාගේ අවවාදයට සවන් දෙයි; උඩඟු මිනිසා තරවටුව නොසලකයි.</verse>
				<verse number="2">සුදනෝ සිය වදනින් යසඉසුරු වළඳති; කපටියෝ අපරාධය ම සොයා යති.</verse>
				<verse number="3">දිව රැකගන්නා දිවි රැකගනියි; දොඩමළුවා විනාශයට පැමිණෙයි.</verse>
				<verse number="4">අලස අය ආසා වුවත් කිසිත් නොලබති; ක්‍රියාශීලී අය සව් සැපත ම භුක්ති විඳිති.</verse>
				<verse number="5">දැහැමියා මුසාවාද පිළිකුල් කරයි; දුදන බස තුච්ඡ ය, වංචනික ය.</verse>
				<verse number="6">දමිටුකම සුදනන්ට ආරක්ෂාව දෙයි; අදමිටුකම දුදනන් ප්‍රපාතයට හෙළයි.</verse>
				<verse number="7">පොහොසත් යයි පෙන්වතත් ඇතැමෙක් දුප්පත් ය; දුප්පත් යයි පෙන්වතත් ඇතැමෙක් පොහොසත් ය.</verse>
				<verse number="8">ධනවතා සිය ධනය ගෙවා දිවි බේරාගත යුතුයි; දිළිඳාට එවැනි තර්ජනයක් නැත.</verse>
				<verse number="9">දමිටුන්ගේ එළිය දීප්තිමත් ව බබළයි; එහෙත් අදමිටුන්ගේ පහන නිවීගෙන යයි.</verse>
				<verse number="10">උඩඟුකම වාද විවාද ඇති කරයි; ඔවා බස් පිළිගන්නන් වෙත ප්‍රඥාව ඇත.</verse>
				<verse number="11">නිරායාසයෙන් ලබන සම්පත වහා නැති වී යයි; වැර වීරියෙන් ලබන වස්තුව තව තව වැඩි වෙයි.</verse>
				<verse number="12">පැතූ දෙය පමා වීමෙන් සිත කලකිරෙයි; පැතුම ඉටු වීම ජීවන වෘක්ෂයකි.</verse>
				<verse number="13">ඔවා බස් නොතැකීම කරදරයට පාර කැපීමකි; ඔවා බස් තැකීම වාසනාව ගෙන එයි.</verse>
				<verse number="14">පැණවතාගේ උපදෙස් ජීවන උල්පතකි; එය මරණයේ මලපත්වලින් ඔබ මුදයි.</verse>
				<verse number="15">හොඳ නැණනුවණ නිසා කරුණාව ලැබෙයි; ද්‍රෝහීන්ගේ මාර්ගය විනාශය බලා යයි.</verse>
				<verse number="16">බුද්ධිමතා හිතාමතා ක්‍රියා කරයි; අඥානයා සිය අනුවණකම ගැන පාරට්ටු කරයි.</verse>
				<verse number="17">අදක්ෂ නියෝජිතයා නිසා රට කරදරයට පත්වෙයි; එහෙත් විශ්වාසී තානාපතියා දියුණුව ගෙන දෙයි.</verse>
				<verse number="18">අවවාද නොපිළිගන්නා හට දිළිඳුකම හා නින්දාව ඇත; උපදෙස් පිළිගන්නා හට ගෞරවය ඇත.</verse>
				<verse number="19">මන දොළ සපුරාගැන්ම මිනිසාට සුමිහිරි ය. නපුරෙන් ඈත් වීම අනුවණයන්ට අමිහිරි ය.</verse>
				<verse number="20">නැණවතුන් ඇසුරු කරන්න, ඔබත් නැණවත් වනු ඇත; අනුවණයන් ඇසුරු කරන්න, ඔබ විනාශ වනු ඇත.</verse>
				<verse number="21">විපත පවිටුන් ලුහුබැඳ එයි; සැපත දමිටුන්ගේ විපාකය වෙයි.</verse>
				<verse number="22">සුදනන්ගේ වස්තුව සිය පරපුරට උරුම වෙයි: දුදනන්ගේ වස්තුව සුදනන්ට හිමි වෙයි.</verse>
				<verse number="23">වගා නොකළ කෙත්වල දිළිඳුන්ට කෑම තිබිය හැකි ය, එහෙත් අයුක්තිය නිසා ඒවා පවා රැස් කරගැනීමට ඉඩක් නැත.</verse>
				<verse number="24">වේවැල නොගන්න පියා පුතාට සතුරෙකි; වේවැල ගන්න පියා පුතාට මිතුරෙකි.</verse>
				<verse number="25">දමිටු අයට කෑම හිඟයක් නැත; අදමිටු අයට කවදත් කුසගිනි ඇත.</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">නැණවත් වනිතාව සිය පවුල ගොඩනඟන්නී ය; අනුවණ වනිතාව සිය අතින් ම එය බිඳදමන්නී ය.</verse>
				<verse number="2">අවංක මිනිසා සමිඳුන් කෙරෙහි ගරුබිය ඇත්තෙකි; වංක මිනිසා එතුමන් හෙළා දකියි.</verse>
				<verse number="3">මෝඩයාගේ දොඩමළු කතා තමාට ම පහර දෙන ඉපලකි; ප්‍රාඥයාගේ කියුම් ඔහුට රැකවරණය දෙන්නකි.</verse>
				<verse number="4">ගවයන් නැති විට අටුකොටු හිස් ව ඇත; ගවයන් ඇති විට අටුකොටු පිරී ඇත.</verse>
				<verse number="5">විශ්වාසී සාක්ෂිකරු බොරු නොකියයි: බොරු සාක්ෂිකරුවෙක් බොරුව ම කියයි.</verse>
				<verse number="6">උඩඟු මිනිසා ප්‍රඥාව සොයතත්, එය නොලබයි; බුද්ධිමතා පහසුවෙන් ම දැනුම ලබයි.</verse>
				<verse number="7">අඥානයා කෙරෙන් ඈත් වන්න; ඔහුට කලඳක් වත් දැනුම නැති බව ඔබට පෙනේ.</verse>
				<verse number="8">නැණනුවණ ඇති අය ජීවන මඟ තේරුම්ගනිති; අනුවණ අය සිය මෝඩකමින් මංමුළා වෙති.</verse>
				<verse number="9">අනුවණයාට පාපය සෙල්ලමකි; අවංක අයට පාප කමාව අවශ්‍ය දෙයකි.</verse>
				<verse number="10">ඔබේ දුක සැප දන්නේ ඔබ ම ය; අන් කෙනෙකුට එය ඔබ සමඟ විඳිය නොහැකි ය.</verse>
				<verse number="11">දුෂ්ටයන්ගේ නිවෙස විනාශ වනු ඇත; අවංක අයගේ නිවෙස පවතිනු ඇත.</verse>
				<verse number="12">
					මිනිසෙකුට හරි යයි පෙනෙන මඟ අවසානයේ දී මරණය විය හැක.
				</verse>
				<verse number="13">සිනාවේ පවා සිත් තැවුලක් විය හැක; ප්‍රීතියේ කෙළවර ශෝකය විය හැක.</verse>
				<verse number="14">දුදනා සිය ක්‍රියාවල විපාකය ලබයි; සුදනා තම ක්‍රියාවල ප්‍රතිඵල ලබයි.</verse>
				<verse number="15">නූගතා තමාට ඇසෙන සැම දෙය ම විශ්වාස කරයි; උගතා තම පියවර හොඳින් විමසා බලයි.</verse>
				<verse number="16">ප්‍රඥාවන්තයා නපුරට බිය වී ඉන් ප්‍රවේසම් වෙයි; අඥානයා උඩඟු වී දුර දිග නොබලා, ක්‍රියා කරයි.</verse>
				<verse number="17">වහා කිපෙන්නා අනුවණ ලෙස ක්‍රියා කරයි. එහෙත් නුවණැතියා ශාන්ත ව සිටියි.</verse>
				<verse number="18">අනුවණයන්ට මෝඩකමේ පල විපාක උරුම වෙයි; එහෙත් නුවණැත්තෝ දැනුම නමැති කිරුළ පැළඳගනිති.</verse>
				<verse number="19">නපුරෝ යහපතුන් අබිමුව වැඳ වැටෙති; දුදනෝ දැහැමියන්ගේ දොරටු ළඟ වැඳ වැටෙති.</verse>
				<verse number="20">දිළින්දාට කිසි ම හිතවතෙක් නැත; පොහොසතාට නම් බොහෝ මිතුරෝ ඇත.</verse>
				<verse number="21">කෙනෙකු හෙළා දැකීම පාපයකි; දිළිඳුන්ට අනුකම්පා කිරීම වාසනාවකි.</verse>
				<verse number="22">නපුරු උපා යොදන්නා බරපතල වරදක් කරයි; යහපත කරන්නා කරුණාව ද විශ්වාසය ද ලබයි.</verse>
				<verse number="23">වැඩක යෙදුණොත් ජීවිකාව ලැබේ; කතාවට ම වැටුණොත් දිළිඳුකම ලැබේ.</verse>
				<verse number="24">නැණවතුන්ගේ කිරුළ ඔවුන්ගේ නැණනුවණ වේ; අඥානයන්ගේ ඔටුන්න ඔවුන්ගේ අනුවණකම වේ.</verse>
				<verse number="25">සැබෑ සාක්ෂිකරු ජීවිත ගළවයි; බොරු සාක්ෂිකරු ජීවිත පාවා දෙයි.</verse>
				<verse number="26">දේව ගරුබිය ඇත්තා හට ආත්ම විශ්වාසය ඇත; ඔහුගේ දූ දරුවන්ට ආරක්ෂාව ද ඇත.</verse>
				<verse number="27">දේව ගරුබිය ජීවන උල්පතකි; එයින් නුඹ මාරක මලපතින් මිදෙන්නෙහි ය.</verse>
				<verse number="28">රජුගේ මහේශාක්‍යය රඳා ඇත්තේ සෙනඟගේ සංබ්‍යාව පිට ය; සෙනඟ අඩුකම ඔහුට මදිකමකි.</verse>
				<verse number="29">කෝපයට පමා වන්නා ඉතා නුවණැති කෙනෙකි; වහා කිපෙන්නා සිය මෝඩකම විදහා පාන්නේ ය.</verse>
				<verse number="30">නිසල් සිත, ගතට සුවය දෙයි; ඊර්ෂ්‍යාව, ඇටකටුවලට පිළිකාවකි.</verse>
				<verse number="31">දිළිඳාට පීඩා කරන්නා සිය මැවුම්කරු හට නින්දා කරයි; දිළිඳාට කරුණාව දක්වන්නා එතුමන්ට ගරු කරයි.</verse>
				<verse number="32">දුෂ්ටයා දුෂ්ට ක්‍රියාවලින් පිරිහෙයි; ධර්මිෂ්ඨයා සිය දැහැමිකමින් සුරැකෙයි.</verse>
				<verse number="33">නුවණැතියාගේ සිතෙහි ප්‍රඥාව පවතියි; අඥානයා ප්‍රඥාව ගැන කිසිත් නොදනියි.</verse>
				<verse number="34">ධර්මිෂ්ඨකම ජාතියක් උසස් කරයි; කවර ජාතියට වුව ද පාපය නින්දාවකි.</verse>
				<verse number="35">කාර්යක්ෂම නිලධාරීන් හට නිරිඳෝ ප්‍රසන්න වෙති; යුතුකම් පැහැර හරින අයට ඔව්හු දඬුවම් දෙති.</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">මුදු මොළොක් පිළිතුර කෝපය පහකරයි; රළු පරුස වදන තරහ අවුස්සයි.</verse>
				<verse number="2">පැණවතාගේ බස් දැනුම පතුරුවයි; අනුවණයාගේ මුවින් මෝඩකම ගලා යයි.</verse>
				<verse number="3">සමිඳාණෝ දිවැසින් මුළු ලොව නරඹන සේක, සුදනන් හා දුදදන් පිරික්සා බලන සේක.</verse>
				<verse number="4">මුදු මොළොක් වදන් දිවි රුකක් වැනි ය, එහෙත් කටුක වදන් මිනිස් සිත තුවාළ කරයි.</verse>
				<verse number="5">මෝඩයා තම පියාගේ ඔවා බස් හෙළා දකියි. ඔහුගේ අවවාදය සලකන්නා නුවණැතියෙකි.</verse>
				<verse number="6">සුදනන්ගේ නිවසෙහි සම්පත් බොහෝ ය; දුදනන්ගේ වස්තුව කරදර උපදවයි.</verse>
				<verse number="7">පැණවතුන්ගේ වචන දැනුම පතුරුවාලයි; අඥානයන්ගේ වචනවලින් එවැන්නක් සිදු නොවෙයි.</verse>
				<verse number="8">දුදනන්ගේ පුද පූජා සමිඳුන්ට පිළිකුලකි; සුදනන්ගේ යැදුම් එතුමන්ට සතුටකි.</verse>
				<verse number="9">දුදනන්ගේ ක්‍රියා කලාපය සමිඳුන්ට පිළිකුලකි; යහ මඟ යන අයට එතුමාණෝ පෙම් කරන සේක.</verse>
				<verse number="10">යහ මඟ හැර යන අයට තද දඬුවම් ඇත; අවවාදය නුරුස්සන අය නසිනු ඇත.</verse>
				<verse number="11">පාතාලය හා අපාය වුව ද සමිඳුන්ගේ බැල්මෙන් සැඟවී නැත; එසේ නම් මිනිස් හදවත එතුමන්ගේ බැල්මෙන් සැඟවිය හැකි ද?</verse>
				<verse number="12">උඩඟු මිනිසා අවවාදය නුරුස්සයි; ඔහු පැණවතුන්ගේ අදහස් නොවිමසයි.</verse>
				<verse number="13">සතුටු සිත මුහුණ එළිය කරයි; සෝ දුක සිත දෙදරවයි.</verse>
				<verse number="14">නැණැතියෝ දැනුම සොයා යති; අනුවණයෝ මෝඩකමින් තෘප්තියට පත් වෙති.</verse>
				<verse number="15">පීඩිතයන්ට හැම දවස ම අසුබ දිනයකි; සතුටු සිත ඇති අයට හැමදා ම මඟුල් උළෙලකි.</verse>
				<verse number="16">කරදර සහිත විපුල සැප සම්පතට වඩා, සමිඳුන් කෙරේ ගරුබිය ඇති ව හිඟකම හොඳ ය.</verse>
				<verse number="17">වෛරය ඇති ව රස මස’වුළු බුදීමට වඩා, සෙනෙහස ඇති ව ලුණු කැඳ බීම හොඳ ය.</verse>
				<verse number="18">වහා කිපෙන සුලු මිනිසා කලහ උපදවයි; ඉවසිලිවන්තයා කලහ සංසිඳුවයි.</verse>
				<verse number="19">අලසයාට පාර කටු මාවතකි; අවංක අයට එය රජ මාවතකි.</verse>
				<verse number="20">නැණවත් පුතා පියා ප්‍රීතියෙන් පිනවයි; එහෙත් අනුවණයා මව හෙළා දකියි;</verse>
				<verse number="21">අනුවණයා හට මෝඩකම ප්‍රීතියකි; එහෙත් නැණවතා කෙළින් ඉදිරියට ම යයි.</verse>
				<verse number="22">උවදෙස් නැති ව හදන සැලැස්ම නිසරු වෙයි; බොහෝ උවදෙස් ඇති විට එය සරු වෙයි.</verse>
				<verse number="23">සුදුසු පිළිතුරක් දීම මිනිසෙකුට ප්‍රීතියකි; තැනට ඔබින වචනය පැවසීම ඊටත් වඩා ප්‍රීතියකි.</verse>
				<verse number="24">නැණවතා පාතාලය දෙස පහළට නොව, ජීවනය දෙස ඉහළට ගමන් කරයි.</verse>
				<verse number="25">සමිඳාණෝ උඩඟු වූවන්ගේ ගේදොර වනසන සේක; වැන්දඹුවගේ ගෙවතු සීමා ආරක්ෂා කරන සේක.</verse>
				<verse number="26">දුදනන්ගේ අදහස් සමිඳුන් හට පිළිකුලකි; පිවිතුරු සිත් ඇති අයගේ වචන එතුමන්ට ප්‍රීතියෙකි.</verse>
				<verse number="27">ධන ලෝභී මිනිසා සිය පවුලට කරදර ගෙන දෙයි; අල්ලස් නුරුස්සන මිනිසා දිගායු වළඳයි.</verse>
				<verse number="28">දැහැමියා පිළිතුරක් දීමට පෙර සිතා බලයි; නොදැහැමියා වහා පිළිතුරු දෙයි; එයින් කරදර ගොඩක් ඇති වෙයි.</verse>
				<verse number="29">සමිඳාණෝ දුදනන් වෙතින් ඈත් ව සිටින සේක; එහෙත් සුදනන්ගේ යැදුමට සවන් දෙන සේක.</verse>
				<verse number="30">සිනහා මුහුණ මන පිනවයි; සුබ පුවත් ඇඟපතට සුව සැප දෙයි.</verse>
				<verse number="31">යහපත් අවවාදයට කන් දෙන තැනැත්තේ, නැණවතුන් අතර නැණවතෙකි.</verse>
				<verse number="32">අවවාද එපා කරන මිනිසා තමාට ම සතුරෙක් වෙයි. උවදෙස් අසන්නා වැඩි වැඩියෙන් නැණනුවණ ලබයි.</verse>
				<verse number="33">දේව ගරුබිය ප්‍රඥාවේ පාසලකි; යටහත්පහත්කම ගරු බුහුමන් ලැබීමට මඟකි.</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">සිතුවිලි සැලැස්ම මිනිසා සතු ය; අවසන් තීරණය සමිඳුන් වෙත ය.</verse>
				<verse number="2">තම ක්‍රියාවලිය හරි යයි මිනිසා සිතයි; එහෙත් සමිඳාණෝ ඔහුගේ ඇතුළාන්තය විමසන සේක.</verse>
				<verse number="3">ඔබේ ක්‍රියාවලිය සමිඳුන් හට කැප කරන්න; එවිට ඔබේ අරමුණු ඉටු වනු ඇත.</verse>
				<verse number="4">සමිඳුන් මැවූ හැම දෙයට ම ඉරණමක් ඇත; දුදනන්ගේ ඉරණම විනාශය වේ.</verse>
				<verse number="5">උඩඟු සිත් ඇති අය සමිඳුන්ට පිළිකුලකි. ඔවුන්ට දඬුවම සිකුරු ය.</verse>
				<verse number="6">දෙවිඳුන් කෙරේ පක්ෂපාත ව විශ්වාසී ව සිටින්න; දෙවිතුම ඔබේ පව් කමා කරනු ඇත. සමිඳුන් කෙරේ ගරුබිය දක්වන්න, කිසි නපුරක් ඔබට නොවනු ඇත.</verse>
				<verse number="7">මිනිසෙකුගේ කල්ක්‍රියාවලට සමිඳුන් සතුටු වන විට, ඔහුගේ සතුරෝ වුවද මිතුරන් වනු ඇත.</verse>
				<verse number="8">වංකකමින් ලබන සැප සම්පත් රාශියට වඩා අවංකකමින් උපයන අල්පයක් වුව ද යහපත.</verse>
				<verse number="9">මිනිසා සැලැස්ම සාදයි, සමිඳාණෝ ඔහුගේ ගමන හසුරුවන සේක.</verse>
				<verse number="10">රජ තෙම දෙවි අනුහසින් කතා කරයි. එබැවින් ඔහුගේ තීරණ නිවැරදි ය.</verse>
				<verse number="11">තුලා සහ තරාදි හරි ව තිබීම දෙවි තුමන්ගේ කැමැත්ත ය, හරි පඩි භාවිතය එතුමන්ගේ අදහස ය.</verse>
				<verse number="12">පව්කම් නිරිඳුන්ට පිළිකුලකි, සිහසුන රඳන්නේ දැහැමිකම මත ය.</verse>
				<verse number="13">අවංක කතාබහ රාජ ප්‍රසාදය දිනයි; ඇත්ත පවසන අයට රජවරු ප්‍රසන්න ය.</verse>
				<verse number="14">රජුගේ උදහස මාර දූතයෙකු වැන්න, නැණවතා ඒ උදහස සංසිඳුවයි.</verse>
				<verse number="15">රජුගේ මුහුණේ බැබළෙන එළියෙහි ජීවනය ඇත; රාජ ප්‍රසාදය වසන්තයේ වැහි වලාකුළක් වැන්න.</verse>
				<verse number="16">රනට වඩා පැණ ද රිදියට වඩා නැණ ද ප්‍රසන්න ය.</verse>
				<verse number="17">නපුරෙන් වැළකීම අවංක අයගේ රාජ මාවත ය; ඔබේ ක්‍රියා මාර්ග ගැන ප්‍රවේසම් වී දිවි රැකගන්න.</verse>
				<verse number="18">විපතට පෙරටුවෙන් අහංකාරය ද වැටීමට පෙරටුවෙන් උඩඟුව ද යයි.</verse>
				<verse number="19">උඩඟු අය සමඟ කොල්ලය බෙදාගැනීමට වඩා, යටහත් සිතින් දිළිඳුන් ඇසුරු කිරීම යහපත.</verse>
				<verse number="20">දෙව් වදන් සලකන අයට සව් සැපත ද සමිඳුන් අදහන අයට වාසනාව ද ඇත.</verse>
				<verse number="21">සිතෙහි ප්‍රඥාව ඇත්තා නැණවතෙකි; සිය මියුරු බසින් අන් අය නම්මා ගනියි.</verse>
				<verse number="22">නුවණැත්තාගේ ප්‍රඥාව ඔහුට ජීවන උල්පතකි. එහෙත් අනුවණයාට ඉගැන්වීමෙන් වැඩක් නැත.</verse>
				<verse number="23">නැණවතා කතාවට පෙර සිතා බලයි; ඔහු පවසන දෙයින් දැනුම දියුණු වෙයි.</verse>
				<verse number="24">ප්‍රිය වදන මී වදය මෙන් කටට රස ය, ඇඟට ගුණ ය,</verse>
				<verse number="25">
					මිනිසෙකුට හරි යයි පෙනෙන මඟ වුව ද, මරණයෙන් අවසන් විය හැකි ය.
				</verse>
				<verse number="26">සාගින්න කම්කරුවා වැඩට යවයි; සාගින්න නිවාගැනීම ඔහුගේ අරමුණ වෙයි.</verse>
				<verse number="27">දුදනා නපුරු කටකතා පතුරුවයි: ඔහුගේ දිව, දැවෙන ගින්නකි.</verse>
				<verse number="28">කලහකාරී අය වාද භේද පතුරුවති; කේළාම් කියන්නෝ මිතුරුදම් බිඳලති.</verse>
				<verse number="29">දාමරිකයෝ මිතුරන් මුළා කරති; ඔවුන්ගේ විනාශයට මඟ පාදති.</verse>
				<verse number="30">දෙතොල තද කරගන්නා විපත ගෙන දෙයි; ඇස් කොණකින් ඉඟි කරන්නා නපුර සිතයි.</verse>
				<verse number="31">පැසුණු හිස තෙද කිරුළකි, එය ලැබෙන්නේ දැහැමි ජීවිතයකිනි.</verse>
				<verse number="32">ඉවසීම, බලතලවලට වඩා ප්‍රශස්ත ය; ආත්මදමනය, නුවරක් යටත් කරගැනීමට වඩා අගනේ ය.</verse>
				<verse number="33">තීරණයක් ගැනීමට පස ඇට දමනු ලැබේ; තීරණය දෙන්නේ සමිඳාණෝ ය.</verse>
			</chapter>
			<chapter number="17">
				<verse number="1">අඬදබර ඇති ගෙදරක මංගල භෝජන වැළඳීමට වඩා සාමදානයෙන් වියළි පාන් කෑල්ලක් කෑම හොඳ ය.</verse>
				<verse number="2">නාස්තිකාර පුතෙකු සිටින තැන සිහි නුවණ ඇති දාසයා පාලකයා වෙයි. සොහොයුරන් අතර උරුමයෙන් කොටසක් ද ඔහු ලබයි.</verse>
				<verse number="3">රිදී සෝදිසි කර බැලීමට කෝවය ද රන් සෝදිසි කර බැලීමට උදුන ද ඇත; මිනිස් සිත සෝදිසි කර බැලීම සමිඳුන් අතේ ය.</verse>
				<verse number="4">නපුරා නපුරු කතාවලට කන් දෙයි; බොරුකාරයා බොරු වදනට සවන් දෙයි.</verse>
				<verse number="5">දිළිඳාට උසුළු-විසුළු කිරීම මැවුම්කාර දෙවිඳුට අවමන් කිරීමකි. අනුන්ගේ දුක් විපත් ගැන ප්‍රීති වෙන්නාට දඬුවම සිකුරු ය.</verse>
				<verse number="6">මහලු වියේ ඔටුන්න නම් දරුවන්ගේ දරුවෝ ය. දරුවන්ගේ පාරට්ටුව නම් ඔවුන්ගේ පියවරු ය.</verse>
				<verse number="7">හරබර කතාව මෝඩයෙකුට නොගැළපෙයි; හොරබොරු කතාව උතුමෙකුට ඊටත් වඩා නොගැළපෙයි.</verse>
				<verse number="8">සමහරු අල්ලස සිතුමිණකැ යි සිතති; හැරෙන හැරෙන අතට ඔහුට වාසනාව ඇතැ යි කල්පනා කරති.</verse>
				<verse number="9">අනුන් කළ වරද සිතට නොගන්නා මිතුදම දියුණු කරයි; එය මතු කර කර බලන්නා මිතුදම බිඳදමයි.</verse>
				<verse number="10">අනුවණයාට පහර සියයකට වඩා, නුවණැතියාට එක අවවාදයක් වැඩදායක වෙයි.</verse>
				<verse number="11">නපුරාගේ එක ම අරමුණ කැරලි ගැසීම ය; එබැවින් ඔහු වෙත නපුරු දූතයෙකු එනු නියත ය.</verse>
				<verse number="12">මෝඩ දෙයක් කරන මෝඩයෙකු හමු වීමට වඩා, පැටවුන් නැති වුණු වැලහින්නකට මුහුණ පෑම යහපත.</verse>
				<verse number="13">කළ හොඳට නරකක් කරන මිනිසාගේ නිවසින් විපත පහ ව යන දවසක් එන්නේ ම නැත.</verse>
				<verse number="14">නඩුහබ පටන්ගැනීම අමුණක් බිඳීම වැනි ය; වාද විවාද හටගන්න පෙර ඒවා වැළැක්වීම හොඳ ය.</verse>
				<verse number="15">දුදනන් නිදොස් කරන මිනිසා ද සුදනන් සදොස් කරන මිනිසා ද සමිඳුන්ට එක සේ පිළිකුලකි.</verse>
				<verse number="16">දැනුම් තේරුම් නැති මෝඩයෙකුට අධ්‍යාපනය සඳහා වියදම් කිරීමෙන් වැඩක් ඇද් ද?</verse>
				<verse number="17">මිතුරුතුමෝ දුක් සැප දෙකෙහි ම මිතුරෝ ය; සොහොයුරන් සිටින්නේ විපතේ දී අත දීමට ය.</verse>
				<verse number="18">අසල්වැසියාගේ ණයතුරුස්වලට මැදි වී අත්තිකාරමක් දෙන්නා සිහි නුවණ නැති මිනිසෙකි.</verse>
				<verse number="19">දබරයට ප්‍රිය කරන්නා පාපයට ප්‍රිය කරයි; නිතර පුරසාරම් දොඩන්නා කරදරයට දොර අරියි.</verse>
				<verse number="20">වංක සිතට සැපසම්පත් නැත, කපටි අයට දුක් විපත් ඇත.</verse>
				<verse number="21">අනුවණ පුතාගේ පියාට සෝදුක ඇත, මෝඩ පුතාගේ පියාට ප්‍රීතියක් නැත.</verse>
				<verse number="22">සතුටු සිත මහා ඖෂධයකි; බිඳුණු සිතකින් ඇඟපත වැහැරී යයි.</verse>
				<verse number="23">දූෂිත විනිසකරුවෝ රහස් අල්ලස් ගනිති; ඉන් යුක්තිය අයුක්තියට පෙරළති.</verse>
				<verse number="24">දැනුම්තේරුම් ඇති මිනිසාගේ ඉලක්කය ප්‍රඥාව ය; එහෙත් මෝඩයා ඉලක්කයක් නැති ව ඉබාගාතේ යන්නේ ය.</verse>
				<verse number="25">අනුවණ පුතා සිය පියා හට ශෝකයකි, වැදූ මවට දුකකි.</verse>
				<verse number="26">දැහැමි අයට දඩ ගැසීම නුසුදුසු ය; උතුමන් හට පහර දීම ඉතා ම නුසුදුසු ය.</verse>
				<verse number="27">දිව දමනය කරන්නාට ප්‍රඥාව ඇත; තැන්පත් සිතක් ඇති අයට වැටහීම ඇත.</verse>
				<verse number="28">මෝඩයා පවා නිහඬ ව සිටින විට නැණවතෙකු මෙන් සැලකේ; කට පියාගෙන සිටින විට බුද්ධිමතෙකු මෙන් ගණන් ගැනේ.</verse>
			</chapter>
			<chapter number="18">
				<verse number="1">හුදකලාව වසන මිනිසා තම මතය ම අනුගමනය කරයි; කවර උවදෙසකට වුව ද කිපෙයි.</verse>
				<verse number="2">අනුවණයා යමක් තේරුම්ගැනීමට කැමැත්තක් නොදක්වයි; ඔහුගේ එක ම කැමැත්ත තම පණ්ඩිතකම හුවා දැක්වීමයි.</verse>
				<verse number="3">දුෂ්ටකම ඇති තැන නින්දාව ඇත; ගෞරවය නැති තැන ලජ්ජාව ඇත.</verse>
				<verse number="4">මිනිසාගේ කියමන්, මහ සයුර මෙන් ගැඹුරු ය, ගලා යන දොළක් වැනි ය, නොසිඳෙන උල්පතක් වැනි ය.</verse>
				<verse number="5">විනිශ්චයේ දී, දුදනන්ට වාසිය සැලසීම ද සුදනන්ගෙන් යුක්තිය පැහැරගැනීම ද හරි නැත.</verse>
				<verse number="6">මෝඩයාගේ කතාබහින් වාද විවාද ඇති වෙයි, ඔහුගේ කට නිසා ගුටි බැට ලබයි.</verse>
				<verse number="7">අඥානයාගේ කට ඔහුගේ විනාශය වේ; ඔහුගේ ම වචන ඔහුට ම උගුලක් වේ.</verse>
				<verse number="8">කටකතා රසවත් අහරකි, එය ගිලගැනීමට කවුරුත් කැමැති ය.</verse>
				<verse number="9">අලසයා හා නාස්තිකාරයා එක වල්ලේ පොල් වැනි ය.</verse>
				<verse number="10">සමිඳුන්ගේ නාමය මහ බලකොටුවකි; දැහැමියෝ එහි දුව ගොස් සුරැකෙති.</verse>
				<verse number="11">පොහොසතා, තම ධනසම්පත බලවත් නගරයක් වටා දුවන උස් කොටු පවුරක් ලෙස සිතයි.</verse>
				<verse number="12">විනාශයට පෙරටුවෙන් උඩඟුකම ඇත; ගෞරවයට පෙරටුවෙන් යටහත්කම ඇත.</verse>
				<verse number="13">පිළිතුරු දීමට පෙර සවන් දෙන්න; නැත්නම් ඔබ මෝඩ නින්දිත කෙනෙක් වනු ඇත.</verse>
				<verse number="14">මිනිසෙක් සිය ආත්ම ශක්තියෙන් ලෙඩ දුක් උසුලයි; එය බිඳ වැටුණොත් කවරෙකුට එය ඉසිලිය හැකි ද?</verse>
				<verse number="15">බුද්ධිමත් සිත දැනුම ලබාගනියි; නැණවතාගේ අවධානය ප්‍රඥාව දෙසට ය.</verse>
				<verse number="16">ඔබ දෙන ත්‍යාගය ඔබට අලුත් දොරවල් ඇර දෙයි; ප්‍රභූවරයන් වෙත යාමට අවස්ථාව ද සලසයි.</verse>
				<verse number="17">උසාවියේ දී විත්තිය හරස් ප්‍රශ්න අසන තුරු පැමිණිල්ල සාධාරණ යයි පෙනේ.</verse>
				<verse number="18">පස ඇට දැමීමෙන් උසාවියේ නඩුවක් විසඳිය හැකි ය, බලවත් දෙගොල්ලක් අතර සාමය ඇති කළ හැකි ය.</verse>
				<verse number="19">සොහොයුරාට අත දෙන සොහොයුරා බලකොටුවක් වැනි ය; සොහොයුරා සමඟ දබර කළොත් ඔහු ඔබට දොර වසනු ඇත.</verse>
				<verse number="20">මිනිසෙකු පවසන දේ ගැන වගකීම ඔහු ම දැරිය යුතු ය. ඒ පිට ඔහුගේ ප්‍රගතිය රඳා ඇත.</verse>
				<verse number="21">ජීවිතය හා මරණය ඔබේ වචන මත රඳා ඇත; ඒවායේ ප්‍රතිවිපාක ඔබේ ම වගකීම ය.</verse>
				<verse number="22">බිරිඳක සොයා ගන්නා යහපතක් සොයා ගනී; දෙවිඳුන්ගෙන් ලත් ප්‍රසාදයකි.</verse>
				<verse number="23">දිළිඳා නම් බැගෑපත් ව අයැදියි; ධනවතා නම් රළු පිළිතුරක් දෙයි.</verse>
				<verse number="24">සමහර මිතුරෝ කලකට පමණ ය. සමහර මිතුරෝ සොහොයුරන්ටත් වඩා හිතවත් ය.</verse>
			</chapter>
			<chapter number="19">
				<verse number="1">අවංක ගතිගුණ ඇති දිළිඳා වංචා කතා කියන මෝඩයාට වඩා උතුම් ය.</verse>
				<verse number="2">දැනුමෙන් තොර උද්‍යෝගය හොඳ නැත, ඉක්මන් වීමෙන් කරදර ඇති වේ.</verse>
				<verse number="3">සමහරු මෝඩකමින් විපතට පත්වෙති; පසු ව සමිඳුන් හට දොස් තබති.</verse>
				<verse number="4">සම්පත් ඇති තැන මිතුරෝත් බහුල ය; දුප්පතාට ඇති මිතුරාත් නැති වී යයි.</verse>
				<verse number="5">බොරු සාක්කි කියන්නාට දඬුවම් නියත ය; මුසාවාද දෙසන්නාට නිදහස් වීමක් නැත.</verse>
				<verse number="6">බොහෝ දෙන ලොකු ලොක්කන්ගේ හොඳ හිත සොයති; නොමසුරු ව දෙන මිනිසාට කාත් කවුරුත් මිතුරෝ වෙති.</verse>
				<verse number="7">දිළිඳාගේ සියලු සොහොයුරෝ ඔහු අප්‍රිය කරති, එසේ නම්, ඔහුගේ මිතුරෝ ඊටත් වැඩියෙන් ඔහුගෙන් දුරු නොවෙද් ද? ඔහු ඔවුන් පස්සේ දුවතත් ඔවුන්ට ළං විය නොහැකි ය.</verse>
				<verse number="8">ප්‍රඥාව ලබාගන්නා අර්ථ සිද්ධිය සාදාගනියි; සිහි නුවණින් ක්‍රියා කරන්නා සෞභාග්‍යය සලසාගනියි.</verse>
				<verse number="9">බොරු සාක්කිකරුට දඬුවම නියත ය; මුසාවාදය දෙසන්නාට විපත සිකුරු ය.</verse>
				<verse number="10">මෝඩයෙකුට නායකත්වය නොහොබී; අධිපතිකම් කිරීම වහලුන්ට කිසිසේත් නොහොබී.</verse>
				<verse number="11">සිහිකල්පනාව ඇත්තා වහා නොකිපෙන සුලු ය; අනුන්ගේ වරද නොතකා හැරීම උදාර ගුණයකි.</verse>
				<verse number="12">රජුගේ උදහස සිහ රදෙකුගේ ගර්ජනාව වැනි ය, ඔහුගේ කරුණාව තණ මත පිනි බිඳු වැනි ය.</verse>
				<verse number="13">අනුවණ පුතා පියාගේ විනාශය වේ. බැණ වදින බිරිඳ නොනැවතී වහින වැස්සකි.</verse>
				<verse number="14">ගෙවතු හා වස්තුව පියාගෙන් ලැබෙන උරුමයකි; නුවණින් ක්‍රියා කරන බිරිඳ දෙවි තුම දෙන දීමනාවකි.</verse>
				<verse number="15">කුසීතකම බර නින්දට පමුණුවයි. කම්මැළියා සාගින්නෙන් පෙළෙයි.</verse>
				<verse number="16">දේව නීති පිළිපදින අයට දිගායු ඇත, ඒවා මඟහරින අයට මරණය ඇත.</verse>
				<verse number="17">දිළිඳුන්ට දෙන්නා සමිඳුන්ට ණයට දෙයි, පසු ව සමිඳාණෝ ඔහුට වැඩි වැඩියෙනුත් දෙන සේක.</verse>
				<verse number="18">බාල වියේ දී ම පුතුට දඬුවම් දී හික්මවන්න, එහෙත් මැරෙන තරම් ඔහුට නොතළන්න.</verse>
				<verse number="19">වහා කිපෙන අය දඬුවම් විඳිනු ඇත; ඔබ ඔහු වරක් මිදුවත් නැවත නැවත එය කිරීමට සිදු වේ.</verse>
				<verse number="20">අවවාදයට සවන් දී උපදෙස් පිළිගන්න; එවිට ඔබ මතු දවස නැණවතෙක් වන්නෙහි ය.</verse>
				<verse number="21">මිනිසා සිතින් බොහෝ දේ අරමුණු කරයි; එහෙත් ස්ථිරවන්නේ සමිඳුන්ගේ අරමුණ ය.</verse>
				<verse number="22">මිනිසෙකුගේ පැතුම විය යුත්තේ දයා කරුණාව ය; දිළිඳුකම වංකකමට වඩා යෙහෙකි.</verse>
				<verse number="23">සමිඳුන්ට ගරුබිය, ජීවනයේ මඟ ය; ඒ මඟ යන මිනිසා විපතින් දුරු ව තෘප්තියට පැමිණෙයි.</verse>
				<verse number="24">අලසයා බත් පිඬ ගන්න බඳුනට අත දමයි, එහෙත් එය කටට ගන්න පවා කම්මැළි ය.</verse>
				<verse number="25">උඩඟු මිනිසාට තළන්න, අනුවණයා නැණවත් වන්නේ එවිට ය. තේරුම් ඇත්තාට ඔවා බස් දෙන්න, ඔහු දැනුම ලබන්නේ එවිට ය.</verse>
				<verse number="26">පියාට ගරහන, මව ගෙදරින් පිටමං කරන පුතා, හිරිඔතප් නැති, නින්දිත කෙනෙකි.</verse>
				<verse number="27">අවවාදයට සවන් නොදෙන පුතා, ප්‍රඥාවේ වචනයට පිටුපා යනු නියත ය.</verse>
				<verse number="28">නීච සාක්ෂිකරු යුක්තිය පෙරළයි; දුදන බස් වරදට රුකුල් දෙයි.</verse>
				<verse number="29">උඩඟු මිනිහාට දඬුවම සිකුරු ය; මෝඩයාට කස පහර නියත ය.</verse>
			</chapter>
			<chapter number="20">
				<verse number="1">මද්‍යපානය කේලාම්කරුවෙකි; සුරාපානය කලහකරුවෙකි; බීමත්කමින් මුළාවෙන්නා මෝඩයෙකි.</verse>
				<verse number="2">රාජ කෝපය සිංහ රාජයෙකුගේ ගර්ජනාව මෙන් බියකරු ය; රජුන් කෝප කරන්නා සිය පණට හානියක් පමුණුවාගනියි.</verse>
				<verse number="3">ඕනෑ ම මෝඩයෙකුට දබරයක් ඇරඹිය හැකි ය; ඉන් වැළකී සිටීම මිනිසෙකුට ගෞරවයකි.</verse>
				<verse number="4">නියම කන්නයේ දී වැපිරීමට අලස වන ගොවියාට කපන කාලයේ දී අස්වැන්නක් නැත.</verse>
				<verse number="5">මිනිස් සිතේ අදහස් ගැඹුරු ළිඳක වතුර වැනි ය; නැණනුවණ ඇති අය එය ඇදගනිති.</verse>
				<verse number="6">සිය පක්ෂපාතකම ගැන පුරසාරම් දොඩන අය බොහෝ ය, එහෙත් සැබෑ විශ්වාසී කෙනෙකු සෙවීම කළුනික සෙවීමකි.</verse>
				<verse number="7">සත්ගුණවත් අවංක පියෙකුගේ දරුවෝ භාග්‍යවන්තයෝ ය.</verse>
				<verse number="8">සිහසුන් අරා නඩු අසන රජෙක් සිය නැණැසින් හරි වැරදි විසඳයි.</verse>
				<verse number="9">“මගේ සිත පිරිසිදු ය; මගේ පව් සේදී ඇතැ”යි කිය හැකි කෙනෙක් මොලොව ඇද් ද?</verse>
				<verse number="10">දෙයාකාර තරාදි ද දෙයාකාර කලන් පඩි ද ඇත. ඒවා සමිඳුන් හට පිළිකුලකි.</verse>
				<verse number="11">ළමයෙකුගේ ක්‍රියාවලින් ඔහුගේ චරිතය හෙළි වේ, එයින් ඔහුගේ අවංකකම ද පිරිසිදුකම ද දැනගත හැකි ය.</verse>
				<verse number="12">ඇසීමට කණ ද, බැලීමට ඇස ද යන දෙක ම මැවුයේ සමිඳාණෝ ය.</verse>
				<verse number="13">නින්දට ප්‍රිය වුවහොත් ඔබට දිළිඳුකම ඇත. නොනිදා අවදි ව සිටියොත් කුස පුරා කෑම ඇත.</verse>
				<verse number="14">පාරිභෝගිකයා ගිනි ගණන් ගැන වෙළෙඳාට දොස් නඟයි, එහෙත් එතැනින් ගිය විට තම වාසිය ගැන කයිවාරු කියයි.</verse>
				<verse number="15">ලොවෙහි රන්මුතු කොතරම් ඇතත් නැණවත් කියමන දුර්ලභ මැණිකකි.</verse>
				<verse number="16">අමුත්තෙකුට ඇප වන විට ඇපවන්නාගේ ඇඳුම ගන්න; එය ඔහුගේ අත්තිකාරම මෙන් තබාගන්න.</verse>
				<verse number="17">සොරාගත් කෑම කටට රස ය, එහෙත් පසු ව එය කටේ පස් මෙන් ය.</verse>
				<verse number="18">හොඳ අවවාද ඇති විට ඔබට සඵලය ඇත; සියුම් සැලසුම නැති ව රණබිමට නොයන්න.</verse>
				<verse number="19">වාචාලයා රහස් එළිදරව් කරයි; දොඩමලු අයගෙන් ඈත් වන්න.</verse>
				<verse number="20">පියාට හෝ මවට හෝ දොස් කියන අයගේ ජීවිතය ගන’ඳුරේ නිවී යන පහනක් වැනි ය.</verse>
				<verse number="21">මුල දී වහා ගොඩනඟන සම්පතින් අන්තිමේ දී වැඩි සෙතක් නැත.</verse>
				<verse number="22">නපුරට නපුර කරමි යි නොකියන්න, සමිඳුන් කෙරේ විශ්වාසය තබන්න, එතුමාණෝ නුඹ සුරකින සේක.</verse>
				<verse number="23">දෙයාකාර කලන් පඩි සමිඳුන්ට පිළිකුලකි, හොර තරාදි සුදුසු නැත.</verse>
				<verse number="24">මිනිසෙකුගේ ගමන් මඟ සමිඳාණෝ මෙහෙය වන සේක, එසේ නම්, යමෙකුට තමා යන මඟ තේරුම්ගත හැකි ද?</verse>
				<verse number="25">බාරයක් වෙන්න පෙර සිතා බලන්න, බාර වීමෙන් පසු ළතැවීමෙන් පලක් නැත.</verse>
				<verse number="26">නැණවත් නිරිඳා වරදකරුවන් සොයා බලා, දයා විරහිත ව දැඩි දඬුවම් දෙයි.</verse>
				<verse number="27">මිනිසාගේ හෘදයසාක්ෂිය සමිඳාණන් දැල්වූ පහනකි; එයින් ඔහුගේ මුළු අභ්‍යන්තරය විනිවිද පෙනෙයි.</verse>
				<verse number="28">කරුණාව හා අවංකකම රජුට ආරක්ෂාව සලසයි; දැහැමි බව ඔහුගේ සිහසුන තහවුරු කරවයි.</verse>
				<verse number="29">යෞවනයන්ගේ අලංකාරය ඔවුන්ගේ කාය ශක්තිය වේ; වෘද්ධයන්ගේ ගෞරවය ඔවුන්ගේ පැසුණු හිස වේ.</verse>
				<verse number="30">වැරදි මඟ හරි මඟ කරගැනීමට නම් ඇතැම් විට දුක් බර අත්දැකීම් අවශ්‍ය වේ.</verse>
			</chapter>
			<chapter number="21">
				<verse number="1">රජුගේ සිතුම්පැතුම් සමිඳුන්ගේ පාලනය යටතේ ය, එතුමාණෝ ඒවා දිය පාරක් මෙන් රිසි අතට හරවන සේක.</verse>
				<verse number="2">මිනිසෙකුට තමන් කරන කොයි දෙයත් හරි යයි පෙනේ, එහෙත් සමිඳාණෝ මිනිස් හදවත කිරා බලන සේක.</verse>
				<verse number="3">දැහැමිකම හා යුක්තිය ඉටු කරන්න, එය පුද පඬුරුවලට වඩා සමිඳුන්ට ප්‍රසන්න ය.</verse>
				<verse number="4">උඩඟු බැල්ම ද අහංකාර සිත ද යන මේ පව් දුදනන්ගේ චරිත ලක්ෂණ වේ.</verse>
				<verse number="5">හිතා මතා, ක්‍රියාශීලී ව වැඩ කරන මිනිසාට සමෘද්ධිය නියත ය; ඉක්මන්කාර මිනිසාට දිළිඳුකම සිකුරු ය.</verse>
				<verse number="6">වංචාවෙන් පොහොසත් වන මිනිසාගේ වස්තුව මීදුමක් මෙන් පහ ව යයි, ඔහු මරණයේ මලපත්වල ද පැටලේ.</verse>
				<verse number="7">යුක්තිය කරන්න අකමැති නිසා දුෂ්ටයෝ තමන්ගේ ම අපරාධවලින් වැනසෙති.</verse>
				<verse number="8">වරදකරුවන්ගේ මඟ ඇද ය; නිදොස් අයගේ ක්‍රියා කෙළින් ය.</verse>
				<verse number="9">කලහකාරී බිරිඳක සමඟ ගෙදර විසීමට වඩා අටුවේ මුල්ලක විසීම හොඳ ය.</verse>
				<verse number="10">දුදනන්ගේ සිත නැමෙන්නේ නපුරට ම ය; ඔවුන්ගෙන් කිසිවෙකුට කරුණාවක් නැත.</verse>
				<verse number="11">උඩඟු මිනිසාට තළන්න, එවිට නූගතා ගුරුකම් ලබයි. නැණවතාට ඔවා බස් දෙන්න, එවිට ඔහු වැඩියෙනුත් දැනුම ලබයි.</verse>
				<verse number="12">දැහැමි දෙවිඳාණෝ දුදනන්ගේ පරපුර අවසන් කරන සේක; දුදනන් විනාශ කර දමන සේක.</verse>
				<verse number="13">දිළිඳා මොරගසන කල, සවන් නොදෙන්නාගේ කන්නලව්වට සවන් දෙන කෙනෙක් නැත.</verse>
				<verse number="14">රහසින් දෙන තිළිණය කෝපය සංසිඳුවයි; හොරෙන් දෙන අල්ලස කෝපාග්නිය නිවයි.</verse>
				<verse number="15">යුක්තිය ඉටු වන විට සුදනන්ට සතුට ද දුදනන්ට විපත ද පැමිණේ.</verse>
				<verse number="16">ප්‍රඥා මාවතෙන් මුළා ව යන මිනිසා මළවුන්ගේ ලෝකයෙහි වසයි.</verse>
				<verse number="17">සැප සෙල්ලමට ඇලුම් වන්නා හිඟමනට බසියි; මත්පැනට හා සැප දිවියට ඇලුම් වන්නා කිසි කලෙක පොහොසත් නොවෙයි.</verse>
				<verse number="18">දුදනන් සුදනන් හට දෙන වද දුදනන් පිටට ම ආපසු පැමිණෙයි.</verse>
				<verse number="19">බැණ වදින, දබරකාරී බිරිඳක සමඟ විසීමට වඩා මරු කතරක තනියම විසීම හොඳ ය.</verse>
				<verse number="20">නැණවතාගේ නිවෙස සැපසම්පතින් පිරී ඇත. එහෙත් අනුවණයා නාස්තිකාරයෙකි.</verse>
				<verse number="21">දැහැමි, කාරුණික ජීවිතයක් ගත කරන්න; එවිට ඔබ ජීවනය ද යුක්තිය ද ගෞරවය ද ලබන්නෙහි ය.</verse>
				<verse number="22">උපායෙහි දක්ෂ සෙනෙවියා අවි ගත් බළ සෙබළුන් රකින නුවරකට නගියි. ඔවුන් විශ්වාසය තැබූ කොටු පවුරු බිඳ හෙළයි.</verse>
				<verse number="23">විපතට නොවැටී සුරැකි ව ඉන්න නම් කට රැකගන්න.</verse>
				<verse number="24">ගර්විත උඩඟු මිනිසාගේ නම ‘ගරහන්නා’ යනුයි. ඔහු උද්ධච්ඡ ව අහංකාරයෙන් ක්‍රියා කරයි.</verse>
				<verse number="25">දෑත වෙහෙසා වැඩ නොකරන අලසයා ඔහුගේ ම මරණයට මඟ පාදයි.</verse>
				<verse number="26">දවස පුරා ඔහු ආශා වන දෙය ඔහුට ලැබෙන්නේ නැත; එහෙත් දැහැමි මිනිසා දෙයි, නොමසුරු ව ම දෙයි.</verse>
				<verse number="27">දුදනන් පුදන යාග පූජා සමිඳුන්ට පිළිකුලකි, වැරදි චේතනාවෙන් පුදන විට වැඩියෙනුත් පිළිකුලකි.</verse>
				<verse number="28">බොරු සාක්කිකරු වැනසී යයි; සාවධාන ව සවන් දෙන්නාගේ වදන් සුරැකී පවතියි.</verse>
				<verse number="29">දුෂ්ටයා කපටි මුහුණක් පෙන්වයි; අවංක මිනිසා තමා යන මඟ ගැන කල්පනාකාරී වෙයි.</verse>
				<verse number="30">ප්‍රඥාව, තීක්ෂණ ඥානය, අනුශාසනය, සමිඳුන්ට විරුද්ධ නම්, මේවායින් වැඩක් නැත.</verse>
				<verse number="31">යුද බිමෙහි අශ්ව සේනාව සැරසී සිටියත්, ජයශ්‍රීය එන්නේ සමිඳුන්ගෙනි.</verse>
			</chapter>
			<chapter number="22">
				<verse number="1">ධන සම්භාරයට වඩා හොඳ නාමය ද රන් රිදීවලට වඩා ගෞරවය ද අගනේ ය.</verse>
				<verse number="2">සමිඳුන් අබියස පොහොසතා හා දුප්පතා අතර වෙනසක් නැත, සමිඳාණන් ඒ දෙදෙන ම මැවූ බැවිනි.</verse>
				<verse number="3">නුවණැතියා විපත දුර තියා දැක අයින් වෙයි. එහෙත් අනුවණයා කෙළින් ම ඊට ගොදුරු වී දුක් විඳියි.</verse>
				<verse number="4">යටහත්කම ද සමිඳුන් කෙරේ ගරුබිය ද ඇති තැන, සම්පත, ගෞරවය හා දිගායු ඇත.</verse>
				<verse number="5">වංක අයගේ මාවතෙහි කටු පඳුරු හා මලපත් ඇත; සිය දිවිය ගැන සලකන්නා ඒවායෙන් දුරු ව සිටියි.</verse>
				<verse number="6">දරුවා බාල වියේ දී ම යහ මඟ යවන්න, එවිට ඔහු මහලු වියේදීත් ඉන් ඉවත් ව නොයයි.</verse>
				<verse number="7">පොහොසත්තු දිළිඳුන් කෙරෙහි බල පාති; ණය ගන්නෝ ණය දෙන්නාට වහල් වෙති.</verse>
				<verse number="8">අයුක්තිය වපුරන්නා විපත්තිය කපා ගනියි. ඔහුගේ කටයුතුවල අවසානය විනාශය ය.</verse>
				<verse number="9">කුළුණු ගුණෙන් දිළිඳුන් හට කෑම දෙන අය සෙත් සිරි ලබනු ඇත.</verse>
				<verse number="10">අහංකාර මිනිසා දුරින් දුරු කරන්න; එවිට තරඟය, විවාද හා අවලාද නවතිනු ඇත.</verse>
				<verse number="11">සුමිහිරි බස රාජ ප්‍රසාදය දිනයි; එහෙත් සමිඳුන් කැමැති නිර්මල සිත් ඇති අයට ය.</verse>
				<verse number="12">සමිඳාණෝ මුසාවාදීන්ගේ වදන්හි අසත්‍යය පෙන්වන සේක; සත්‍යය රැකීමට කරුණු යොදන සේක.</verse>
				<verse number="13">“පිටත සිංහයෙක් සිටියි, වීදියට ගියොත් මා මැරෙනු ඇතැ”යි අලසයා කියයි.</verse>
				<verse number="14">වෙසඟනකගේ කට ගැඹුරු වළක් වැන්න; සමිඳුන්ගේ කෝපයට පාත්‍රවන්නෝ ඒ වළේ වැටෙති.</verse>
				<verse number="15">ළාමක වැඩ කිරීම ළමයින්ගේ සහජ ගතියකි. වේවැල භාවිතයෙන් එය දුරු කළ හැකි ය.</verse>
				<verse number="16">කෙනෙක් දිළිඳුන් පෙළීමෙන් පොහොසත් වෙති. පොහොසතුන්ට තෑගිබෝග දීමෙන් කෙනෙක් දිළිඳු වෙති.</verse>
				<verse number="17">මාගේ උපදේශයන්ට සවන් දෙන්න; මාගේ අනුශාසනාවන්ට හිත යොමන්න.</verse>
				<verse number="18">ඒවා සිතෙහි නිදන් කරගන්න; කතාබහේ දී උපුටා දක්වන්න; එවිට ප්‍රීතිය ඔබ සතු වනු ඇත.</verse>
				<verse number="19">ඔබේ විශ්වාසය සමිඳුන් කෙරේ තබන්න; මා අද පවසන මේ ඔවා බස් ඒ සඳහා ය.</verse>
				<verse number="20">දැනුම හා නැණවත් උපදෙස් සහිත කියුම් තිහක් මම මෙහි ලියා තබමි.</verse>
				<verse number="21">එසේ කර ඇත්තේ, ඔබ එවූ අය වෙත හරි පිළිතුරක් ගෙන යන පිණිස ය. ඔබට සත්‍යය පිළිබඳ ඥානය දෙන අදහසිනි.</verse>
				<verse number="22">දිළිඳා දිළිඳු නිසා ඔහුගෙන් අයුතු වාසියක් නොගන්න; අසරණයා අසරණ නිසා උසාවියේ දී ඔහුට පීඩා නොකරන්න.</verse>
				<verse number="23">මන්ද, සමිඳුන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනු ඇත. ඔවුන්ගෙන් පැහැරගන්න අයගෙන් පැහැරගනු ඇත.</verse>
				<verse number="24">වහා කිපෙන අයෙකු සමඟ මිත්‍ර නොවන්න; කෝපයෙන් පුපුරන කෙනෙකු ඇසුරු නොකරන්න.</verse>
				<verse number="25">එසේ කළොත් ඔබත් ඒ නරක ගතිවලට ඇබ්බැහි වනු ඇත. ඔබ මලපතකට ද අසුවනු ඇත.</verse>
				<verse number="26">උකස් දෙන්නන්ගේ ගණනට එකතු නොවන්න; අන් කෙනෙකුගේ ණයතුරුස්වලට ඇප නොවන්න.</verse>
				<verse number="27">ඇපය ගෙවීමට ඔබට නොහැකි වූවොත් ඔවුන් ඔබේ නිදන යහන පවා ගෙන යන්නට බැරි නැත.</verse>
				<verse number="28">ඔබේ මුතුන්මිත්තන් පිහිටෙවූ පැරණි මායිම් ගල් කිසි විටෙක වෙනස් නොකරන්න.</verse>
				<verse number="29">තම කටයුතු ගැන දස්කම් පාන මනුෂ්‍යයෙක් සිටී නම්, ඔහු පොදු ජනයා අතර නොව රජුන් අබියස වැජඹෙනු ඇත.</verse>
			</chapter>
			<chapter number="23">
				<verse number="1">ඔබ රජ කුමරෙකු සමඟ කෑමට හිඳින කල අබිමුවෙහි ඇති දේ ගැන කල්පනාකාරී වන්න.</verse>
				<verse number="2">ඔබ කෑදර නම් කෑදරකම දමනය කරගන්න.</verse>
				<verse number="3">ඔහුගේ රසවත් කෑමට ගිජු නොවන්න, මෙය ඔබ රැවටීමේ උපායක් වන්නට බැරි නැත.</verse>
				<verse number="4">පොහොසත් වන්නට නොවෙහෙසෙන්න, ඒ අදහස ඔබේ සිතින් අත්හරින්න.</verse>
				<verse number="5">වස්තුව දෙස බලන විට ම එය පියාපත් මවාගෙන, රාජාලියෙකු මෙන් අහසට පියාඹා යනු ඇත.</verse>
				<verse number="6">මසුරෙකු සමඟ කෑමට නොයන්න, ඔහුගේ ප්‍රණීත ආහාර වැළඳීමට ලොල් නොවන්න. ඒ කෑම කෙස් රොදක් මෙන් උගුරේ හිර වෙනු ඇත.</verse>
				<verse number="7">“තව බෙදාගන්න, හොඳට කන්නැ”යි ඔහු කියතත්, ඔහුගේ සිත අවංක නැත.</verse>
				<verse number="8">එවිට ඔබ කෑ දෙය වමාරාලීමට ඔබට සිදු වනු ඇත. ඔබ කළ ප්‍රශංසාවෙන් වැඩක් නොවනු ඇත.</verse>
				<verse number="9">අනුවණයාට නුවණින් කතා කිරීමෙන් වැඩක් නැත; ඔබේ කීම්වල අගය තේරුම්ගන්න ඔහු අපොහොසත් ය.</verse>
				<verse number="10">පැරණි මායිම් ගල් කිසි දා වෙනස් නොකරන්න; අනාථයන්ගේ වතුපිටි අල්ලා නොගන්න.</verse>
				<verse number="11">මන්ද, ඔවුන්ගේ මිදුම්කාරයාණෝ බලසම්පන්න ය; එතුමාණන් උසාවියේ දී ඔබට විරුද්ධ ව පෙනී සිටිනු ඇත.</verse>
				<verse number="12">ඔබේ සිත විනයට ද ඔබේ කන් ප්‍රඥාවට ද යොමු කරන්න.</verse>
				<verse number="13">දරුවාට දඬුවම් කිරීමට අදිමදි නොකරන්න, කෝටු පාර දුන්නාට ඔහු මැරෙන එකක් නැත.</verse>
				<verse number="14">කෝටුවෙන් ඔහුට තළන්න, එයින් ඔහුගේ ජීවිතය රැකෙනු ඇත.</verse>
				<verse number="15">මාගේ පුත්‍රය, ඔබ නැණවතෙකු වුණොත් මටත් කොතරම් ප්‍රීතියක් ද?</verse>
				<verse number="16">ඔබ නැණවත් දේ පවසන විට මාගේ හදවත පිනා යයි.</verse>
				<verse number="17">පවිටුන් ආදර්ශයට නොගන්න, දිවා රෑ දෙක්හි සමිඳුන්ට ගරුබිය දක්වන්න.</verse>
				<verse number="18">එසේ කළොත්, ඔබට අනාගතයක් ඇත, එය දීප්තිමත් අනාගතයක් වනු ඇත.</verse>
				<verse number="19">මාගේ පුත්‍රය, ම වදන් අසා නැණවත් වන්න; හරි මඟ ගමන් කරන්න.</verse>
				<verse number="20">සුරා සොඬුන් ද මස් මාංසයට කෑදර වූවන් ද ඇසුරු නොකරන්න.</verse>
				<verse number="21">මන්ද, බේබද්දාත්, කෑදරයාත් දිළිඳු බවට පැමිණෙති. ඔබත් වෙරිමතින් හිඟමනට බසිනු ඇත.</verse>
				<verse number="22">ඔබට ජීවය දුන් පියාගේ බස් අසන්න; මහලු වියට පත් ඔබේ මව සුළු නොකරන්න.</verse>
				<verse number="23">සත්‍යය ද ප්‍රඥාව ද උගත්කම ද නැණනුවණ ද මිල දී ගන්න, ගත් පසු, ඒවා කිසි ම දාක නොවිකුණන්න.</verse>
				<verse number="24">දැහැමි පුතෙකුගෙන් පියාට ප්‍රීතිය ඇත; නැණවත් පුතෙකු ඇති පියා සතුටින් පිනා යයි.</verse>
				<verse number="25">ඔබේ පියාට ද මවට ද ආඩම්බරයක් වන්න; ඔබගේ වැදූ මවට ඒ ප්‍රීතිය දෙන්න.</verse>
				<verse number="26">මාගේ පුත්‍රය, ම වදන් සිතට ගන්න, මා දෙන ඔවාබස් පිළිගන්න.</verse>
				<verse number="27">වෙසඟන ගැඹුරු වළකි; සලෙලු ලිය පටු ළිඳකි.</verse>
				<verse number="28">මොවුහු හොරුන් මෙන් සැඟවී බලා සිටිති, බොහෝ දෙන පරදාර සේවනයට පොළඹවති.</verse>
				<verse number="29">දුක කාට ද? කාලකණ්ණිකම කාට ද? අඬදබර කාට ද? මැසිවිලි කාට ද? නිකරුණේ තුවාළ කාට ද? රතු ඇස් කාට ද?</verse>
				<verse number="30">සුරා බෝතලය ළඟ පමා වන මිනිසාට ය. තව තවත් මත්පැන් බොන්න යන මිනිසාට ය.</verse>
				<verse number="31">මද්‍යසාරය රතට රතේ දිළිසෙන විට, වීදුරුවෙහි පෙණ දමන විට, ලස්සනට වැක්කෙරෙන විට, ඒ දෙස නොබලන්න.</verse>
				<verse number="32">අන්තිමේ දී එය, නයෙකු මෙන් සපා කයි; පොළඟෙකු මෙන් දෂ්ට කරයි.</verse>
				<verse number="33">එවිට ඔබේ ඇස අද්භූත දේ දකියි; ඔබේ කට විලම්බීත දොඩවයි.</verse>
				<verse number="34">එවිට ඔබ මුහුද මැද ඒ මේ අත පෙරළෙන කෙනෙකු මෙන් ද කුඹ ගස මුදුනේ නිදන්න හදන කෙනෙකු මෙන් ද වනු ඇත.</verse>
				<verse number="35">එවිට ඔබ මෙසේ කොඳුරනු ඇත: “ ‘ඔවුන් මට පහර දෙන්නට ඇත, නමුත් මට රිදුණේ නැත. ඔවුන් මට ගසන්නට ඇත, නමුත් මට දැනුණේ නැත. කොයි වේලේ මා අවදි වේ ද? එවිට මම තව උගුරක් බොමි.’ “</verse>
			</chapter>
			<chapter number="24">
				<verse number="1">පවිටුන් ආදර්ශයට නොගන්න, ඔවුන් ඇසුරට ආශා නොවන්න.</verse>
				<verse number="2">ඔවුන්ගේ සිතේ එක ම අරමුණ සැහැසිකමක් කිරීම ය; ඔවුන්ගේ එක ම කතාව නපුරක් කිරීම ය.</verse>
				<verse number="3">ගෙදරක පදනම් දැමිය යුත්තේ ප්‍රඥාවෙනි, එය ගොඩනැඟිය යුත්තේ ඥානයෙනි.</verse>
				<verse number="4">එහි කාමර අගනා සැරසිලිවලින් විසිතුරු කළ යුත්තේ බුද්ධියෙනි.</verse>
				<verse number="5">පැණවතා බලවතාට වඩා උදාර ය. බුද්ධිමතා ශක්තිමතාට වඩා ශ්‍රේෂ්ඨ ය.</verse>
				<verse number="6">රණ බිමෙහි විජය සඳහා දක්ෂ උපා අවශ්‍ය ය; උපදේශකයන් වැඩි වූ තරමට විජය සිකුරු ය.</verse>
				<verse number="7">මෝඩයෙකුට ප්‍රඥාව ඔරොත්තු නොදෙයි; උසාවියේ දී ඔහුට එක වචනයක් වත් නොකිය හැකි ය.</verse>
				<verse number="8">කොයි වේලෙත් හොර මැරකම් කිරීමේ අදහස ඇති මිනිස්සු “ඉහළ පෙළේ තක්කඩි”යයි කියනු ලබති.</verse>
				<verse number="9">මෝඩයාගේ කොයි යෝජනාවත් පාපී ය. උඩඟු මිනිසා සෙසු අයට පිළිකුලකි.</verse>
				<verse number="10">අර්බුදයක් ඉදිරියෙහි දුබල වන මිනිසා, සැබැවින් ම දුබල මිනිසෙකි.</verse>
				<verse number="11">මරණයට ගෙනයනු ලබන අය මුදාගන්න; ඝාතනයට ගෙනයනු ලබන අය ගළවාගන්න.</verse>
				<verse number="12">“මම මේ ගැන කිසිත් නොදනිමි”යි ඔබ කියතත්, යටි හිත විමසන දෙවි තුමාණෝ එය නොදකිත් ද? ඔබ පිරික්සා බලන උතුමා එය නොදන්නේ ද? එක එක මිනිසාගේ එක එක ක්‍රියාවට විපාක නොදෙන්නේ ද?</verse>
				<verse number="13">මාගේ පුත්‍රය, මී පැණි ඇඟට ගුණ ය; කටට රස ය; එය පානය කරන්න.</verse>
				<verse number="14">ඔබේ ජීවිතයට ප්‍රඥාව ද එසේ ම ය; එය ලදහොත් හොඳ අනාගතයක් උදා වෙයි. ඔබේ පණ කෙන්ද නොකැඩී පවතියි.</verse>
				<verse number="15">දැහැමියාගේ නිවස වටා නපුරෙකු මෙන් සැඟවී නොසිටින්න; ඔහුගේ වස්තුව කොල්ල නොකන්න.</verse>
				<verse number="16">දැහැමියා සත් වරක් වැටුණත් ඔහු යළි නැඟිටියි; එහෙත් දුෂ්ටයා විපතට වැටුණොත් වැටුණා ම ය.</verse>
				<verse number="17">ඔබේ සතුරාගේ විපත ගැන සතුටු නොවන්න; ඔහුගේ වැටීම ගැන ප්‍රීති නොවන්න.</verse>
				<verse number="18">ඔබේ ඒ ප්‍රීතිය දක්නා සමිඳාණන් අසතුටු වනු ඇත. සිය උදහස සතුරා කෙරෙන් පහකරනු ඇත.</verse>
				<verse number="19">නපුරන් ගැන නොකිපෙන්න; දුදනන් ආදර්ශයට නොගන්න.</verse>
				<verse number="20">නපුරන්ට අනාගතයක් නැත; නිවී යන පහනක් මෙන් ඔවුන් පහවනු ඇත.</verse>
				<verse number="21">මාගේ පුත්‍රය, සමිඳුන්ට ද රජුට ද ගරුබිය දක්වන්න; ඔවුන්ට විරුද්ධ ව කැරලි නොගසන්න.</verse>
				<verse number="22">මන්ද, හිටිහැටියේ ඔවුන්ගෙන් විපත පැමිණෙනු ඇත. ඒ දෙදෙනාගෙන් එන විපත්තිය කවරෙක් දනිද් ද?</verse>
				<verse number="23">මේවාත් ප්‍රාඥයින්ගේ කියමන් ය: අධිකරණයේ දී පක්ෂපාත ව ක්‍රියා කිරීම යුතු නැත.</verse>
				<verse number="24">“වැරදිකරු නිවැරදි ය”යි තීන්දු දෙන විනිසකරුට ජනතාව සාප කරනු ඇත. ජාතීන් ඔහු හෙළා දකිනු ඇත.</verse>
				<verse number="25">එහෙත් වැරදිකරුට දඬුවම දෙන අය කීර්තිය දිනාගනියි; ජනතාව ඔහුට සෙත් සිරි පතති.</verse>
				<verse number="26">අවංක පිළිතුර සුහදතාවේ ලකුණකි.</verse>
				<verse number="27">කලින් වැඩකටයුතු පිළියෙළකොට කෙතක් වවා සරු වන තුරු, ගෙයක් දොරක් තනා පවුලක් වීමට නොසිතන්න.</verse>
				<verse number="28">හේතුවක් නැති ව අසල්වැසියාට විරුද්ධ ව සාක්ෂි නොදෙන්න; ඔහු ගැන බොරු සාක්ෂි නොකියන්න.</verse>
				<verse number="29">“ඔහු මට කළ දේ ම මමත් ඔහුට කරමි; ඔහු කළ දෙයට සෑහෙන පළියක් ගනිමි”යි නොකියන්න.</verse>
				<verse number="30">මම අලසයාගේ කෙත ළඟින් ද අනුවණයාගේ මිදි වත්ත අසලින් ද ගියෙමි.</verse>
				<verse number="31">එහි හැම තැන ම කටු පඳුරු වැවී තිබිණි, මුළු ඉඩම කහඹිලියාවලින් වල් බිහි වී තිබිණි, ගල් තාප්පය බිඳ වැටී තිබිණි.</verse>
				<verse number="32">මම එය හොඳින් බලා, තේරුම්ගතිමි. මේ පාඩම ඉගෙනගතිමි:</verse>
				<verse number="33">
					තව ටිකක් නිදාගන්න, ටිකක් සැතපෙන්න, අත් දෙක පොරවාගෙන නිකම් ඉන්න,
				</verse>
				<verse number="34">එවිට ඔබ වෙත දිළිඳුකම සොරෙකු මෙන් ද හිඟකම අවි ගත් කෙනෙකු මෙන් ද පැමිණෙනු නියත ය.</verse>
			</chapter>
			<chapter number="25">
				<verse number="1">ජුදාහි රජ වූ හෙසකියාගේ ලේකම්වරුන් විසින් පිටපත් කරන ලද සලමොන් නිරිඳුන්ගේ තවත් උපදේශ පහත දක්වනු ලැබේ.</verse>
				<verse number="2">අබිරහස් ගැන අපි දෙවිඳුන්ට ගරු කරමු; අර්ථය පහදා දීම ගැන අපි රජුට පැසසුම් දෙමු.</verse>
				<verse number="3">රජුගේ හිතුම් පැතුම් අහස මෙන් උස ය, මුහුද මෙන් ගැඹුරු ය, අචින්ත්‍ය ය.</verse>
				<verse number="4">රිදීයෙන් බොර පහකරන්න, එවිට විසිතුරු බඳුනක් තැනීමට රිදීකරුවාට හැකි වේ.</verse>
				<verse number="5">රජු වෙතින් දුදනන් පහකරන්න; එවිට රාජ සිහසුන දැහැමිකමෙහි තිරසර වේ.</verse>
				<verse number="6">
					රජු අබිමුවෙහි මහන්තත්ත්වය නොපාන්න;
					ප්‍රභූන්ගේ තත්ත්වය නොපතන්න.
				</verse>
				<verse number="7">රජ කුමරෙකු ඉදිරියෙහි පහත්කරනු ලැබීමට වඩා “ඉහළ තැනට එන්නැ”යි කියා කැඳවනු ලැබීම කොතරම් හොඳ ද?</verse>
				<verse number="8">ඔබ දුටු යමක් ගැන ඉක්මන් වී උසාවි නොයන්න; වෙන සාක්ෂිකරුවෙකු ඔබ නිරුත්තර කළොත් කුමක් කරන්න ද?</verse>
				<verse number="9">අසල්වැසියා සමඟ ම ආරාවුල බේරාගන්න; අනුන්ගේ රහස් අන් අයට හෙළි නොකරන්න.</verse>
				<verse number="10">එසේ කළොත් ඔවුන් ඔබට අවලාද කියනු ඇත. ඔබේ අපවාද පහනොවනු ඇත.</verse>
				<verse number="11">තැනට කැපෙන වචනය රිදී තැටියක නෙළූ රන් කැටයමක් වැන්න.</verse>
				<verse number="12">මැනවින් සවන් දෙන අයට නැණවතාගේ ඔවා බස් රන් අරුංගල් ජෝඩුවක් ද තනි රන් මාලයක් ද වැන්න.</verse>
				<verse number="13">විශ්වාසවත් පණිවුඩකරු තම හිමියාට ගිම්හානයේ රස්නය නිවන සිහිල් හිම මෙන් සතුට ගෙන දෙයි.</verse>
				<verse number="14">දීමට පොරොන්දු වී නො දී සිටින අය වැහි නොදෙන සුළං හා වලාකුළු මෙනි.</verse>
				<verse number="15">ඉවසීමෙන් අධිපතියකු වුව ද නම්මාගත හැක; මුදු මොළොක් බසින් දැඩි ආධිපත්‍යය බිඳිය හැක.</verse>
				<verse number="16">මී පැණි ලදහොත් තරමට පමණක් කන්න; වැඩියෙන් කෑවොත් වමනය ඇති වේ.</verse>
				<verse number="17">අසල්වැසියාගේ ගෙදරට නිතර නිතර නොයන්න; ගියොත් ඔහුට ඔබ එපා වී ඔහු ඔබ නුරුස්සයි.</verse>
				<verse number="18">අනුන්ට විරුද්ධ ව බොරු සාක්ෂි කියන්නා මුගුරක් ද කඩුවක් ද තියුණු ඊගසක් ද මෙන් නපුරු ය.</verse>
				<verse number="19">විපත්ති දවසේ දී චපල මිනිසෙකු කෙරේ විශ්වාසය තැබීම, දිරා ගිය දතක් ද කොර කකුලක් ද ඇති ව සිටීම මෙනි.</verse>
				<verse number="20">දුකින් පෙළෙන කෙනෙකුට මියුරු ගීයක් ගැයීම තුවාළයක් මත විනාකිරි දැමීමත් සීත දවසක ඔහුගේ කබාය ගැලවීමත් සමාන ය.</verse>
				<verse number="21">
					ඔබේ සතුරාට සාගිනි නම් කන්න දෙන්න;
					පිපාසා නම් බොන්න වතුර ටිකක් දෙන්න;
				</verse>
				<verse number="22">මෙසේ හිස ගිනිගත් කෙනෙකු මෙන් ඔහුට දැරිය නොහැකි ලජ්ජාවකින් දැවීමට සලසනු ඇත. සමිඳුන් ඔබට විපාක දෙනු ඇත.</verse>
				<verse number="23">උතුරු සුළඟ වැස්ස ගෙනෙයි, එලෙස ම කේළාම් කීම කෝපය අවුස්සයි.</verse>
				<verse number="24">කලහකාරී බිරිඳක සමඟ ගෙයි විසීමට වඩා එහි අටුවේ මුල්ලක විසීම හොඳ ය.</verse>
				<verse number="25">දුර රටකින් එන හොඳ ආරංචිය, පිපාසයෙන් වේළුණු උගුරට ඇල් වතුර මෙනි.</verse>
				<verse number="26">දුදනා අබිමුව බියෙන් ගැහෙන සුදනා බොර දිය නඟින උල්පතක් ද පල් වතුර ඇති ළිඳක් ද වැනි ය.</verse>
				<verse number="27">මී පැණි ගොඩක් බීම හොඳ නැත; තම ගෞරවය ම වැඩියෙන් සෙවීම ද හොඳ නැත.</verse>
				<verse number="28">අසංවර මිනිසා කොටු පවුරු නැති බිඳ වැටුණු නුවරක් වැන්න.</verse>
			</chapter>
			<chapter number="26">
				<verse number="1">ගිම්හානයේ දී හිම ද, ගොයම් නෙළන කාලයේ දී වැස්ස ද, අනුවණයෙකුට ගරු සම්මාන ද හරි නැත.</verse>
				<verse number="2">ඔබමොබ පියාඹන ගේ කුරුල්ලා මෙන් ද ඉගිළී යන වැහිලිහිණියා මෙන් ද හේතුවක් නැති ව කරන සාපය නොරැඳී පලා යයි.</verse>
				<verse number="3">අශ්වයාට කසය ඇත; බූරුවාට කටකලියාව ඇත; අනුවණයාට කෙවිට ඇත.</verse>
				<verse number="4">මෝඩයාගේ මෝඩ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න යාමෙන් ඔබත් මෝඩයෙක් වෙයි.</verse>
				<verse number="5">මෝඩයාගේ මෝඩ ප්‍රශ්නයට දිය යුත්තේ මෝඩ පිළිතුරකි. නැත්නම් ඔහු, ‘තමා නැණවතෙකැ’යි සිතනු ඇත.</verse>
				<verse number="6">අනුවණයා අත පණිවුඩයක් යවන්නා, සිය දෙපා කපාගෙන දුකට පත් වෙයි.</verse>
				<verse number="7">අනුවණයාගේ මුවින් නික්මෙන පැණ පිරුළ කොරාගේ කකුල් මෙන් පණ නැත.</verse>
				<verse number="8">අනුවණයාට ගෞරවය දීම ගල පටියේ බැඳ විදීම මෙන් නිෂ්ඵල ය.</verse>
				<verse number="9">අනුවණයාගේ මුවින් නික්මෙන පැණ පිරුළ, බේබද්දා අතින් වනන කටු අත්තක් වැනි ය.</verse>
				<verse number="10">මඟ යන අඥානයකු කුළී වැඩට ගන්නා, පාරේ යන හැම අයට ම තුවාළ කරන දුනුවායෙකු මෙනි.</verse>
				<verse number="11">
					එම මෝඩකම යළිත් කරන මෝඩයා, උගේ වමනයට හැරී යන බල්ලෙකු වැනි ය.
				</verse>
				<verse number="12">මෝඩයා වුව ද ‘තමා නැණවතෙකැ’යි කියා සිතන අනුවණයාට වඩා හොඳ ය.</verse>
				<verse number="13">අලසයා වැඩට නොයන පිණිස මෙසේ කියයි: “පාරේ සිංහයෙක් ඇත, වීදියේ නිදැල්ලේ දුවන සිංහයෙක් ඇත.”</verse>
				<verse number="14">දොර, අසව්ව පිට ඒ මේ අත හැරෙයි, අලසයා ද තම යහනේ ඒ මේ අත පෙරළෙයි.</verse>
				<verse number="15">අලසයා බත් පිඬ ගන්න බඳුනට අත දමයි; එහෙත් එය කටට ගන්න වත් කම්මැළි ය.</verse>
				<verse number="16">නුවණැති ව පිළිතුරු දෙන සත්දෙනෙකුට වඩා ‘තමා නැණවතෙකැ’යි අලසයා සිතයි.</verse>
				<verse number="17">අනුන්ගේ දබරයකට ඇඟිලි ගසන්නා, පාරේ යන බල්ලෙකු උගේ කන් දෙකින් අල්ලාගන්නෙකු හා සමාන ය.</verse>
				<verse number="18">තමාගේ අසල්වැසියා රවටමින්,</verse>
				<verse number="19">“මම සෙල්ලමට එය කෙළෙමි”යි කියන මිනිසා, තමා වටකර බියකරු ගිනි පෙනෙලි ද මාරක ඊගස් ද විසි කරන පිස්සෙකු වැනි ය.</verse>
				<verse number="20">දර නැති තැන ගින්න නිවෙයි; කේළාම් නැති තැන දබර නවතියි.</verse>
				<verse number="21">ගිනි අඟුරුවලට මයිනහමත්, ගින්නට දරත් යම් සේ ද දබරයක් ඇවිස්සීමට කලහකාරී මිනිසාත් එසේ ම ය.</verse>
				<verse number="22">කටකතා රසවත් අහරකි, එය ගිලගැනීමට කවුරුත් කැමැති ය.</verse>
				<verse number="23">නපුරු හදවත් සඟවාගෙන කරන සිනිඳු කතාව රිදී ගෑ මැටි බඳුනක් වැන්න.</verse>
				<verse number="24">කපටියා චාටු බස් මුවාවෙන් වෛරය වසාගනියි. සතුරා මිහිරි බස් දොඩයි, එහෙත් හිත තුළ වෛරය තබාගනියි.</verse>
				<verse number="25">ඔහුගේ හදවත උතුරා යන තරම් නපුරෙන් පිරී ඇත, මිතුරු වචන කීවත් ඔහු විශ්වාස නොකරන්න.</verse>
				<verse number="26">තම නපුරුකම ව්‍යාජයෙන් වසාගත්තත්, ඔහුගේ දුෂ්ටකම සියල්ලන් හට හෙළි වනු ඇත.</verse>
				<verse number="27">ඔහු කණින වළෙහි ඔහු ම වැටෙන්නේ ය; ඔහු පෙරළා හරින ගලට ඔහු ම යට වන්නේ ය.</verse>
				<verse number="28">මුසා බස් දොඩන්නා ඉන් හානි වූවන්ට වෛර කරයි, ඉච්චා බස් දොඩන්නා විනාශය ගෙන දෙයි.</verse>
			</chapter>
			<chapter number="27">
				<verse number="1">“අද කුමක් වේ දැ”යි කියා වත් නොදන්න ඔබ, හෙට ගැන පාරට්ටු නොකරන්න.</verse>
				<verse number="2">අන්‍යයෝ ඔබට ප්‍රශංසා කරත් වා; අමුත්තෝ වුව ද ඔබට ප්‍රශංසා කරත් වා, එහෙත් ඔබ ඔබට ම ප්‍රශංසා කර නොගන්න.</verse>
				<verse number="3">ගල් බර ය, වැලිත් බර ය, අනුවණයාගෙන් ඇති වන දුක් ගැහැට ඒ දෙකට ම වඩා බර ය.</verse>
				<verse number="4">කෝපය කුරිරු ය; ක්‍රෝධය රුදුරු ය; එහෙත් ඊර්ෂ්‍යාව ඉවසිය හැක්කේ කාට ද?</verse>
				<verse number="5">කෙළින් තරවටු කිරීම ක්‍රියාවෙන් නොපෙන්වන ප්‍රේමයට වඩා අගනේ ය.</verse>
				<verse number="6">මිතුරාගෙන් වන රිදුම හිතවත්කමේ ලකුණකි. සතුරාගෙන් ලැබෙන සිඹීම විපතේ පෙර නිමිත්තකි.</verse>
				<verse number="7">කුස පුරා කෑ අයට මී වදයත් එපා වේ; සාගිනි ඇති අයට තිත්ත කදුරුත් මිහිරි වේ.</verse>
				<verse number="8">සිය රට හැර යන මනුෂ්‍යයා කැදැල්ල හැර පියාඹන කුරුල්ලා වැනි ය.</verse>
				<verse number="9">සඳුන්, කපුරු, සුවඳ විලවුන් මන පිනවයි; හිරිහැර, කරදර සිත දෙදරවයි.</verse>
				<verse number="10">ඔබේ ම මිත්‍රයා ද පියාගේ මිත්‍රයා ද අත් නාරින්න. විපතේ දී නෑයින් වෙත නොයන්න. ළඟ සිටින මිතුරා දුර සිටින නෑයාට වඩා අගනේ ය.</verse>
				<verse number="11">මාගේ පුත්‍රය, මට ගරහන අයට උත්තර දෙන පිණිස නැණවත් ව ම සිතට සතුට දෙන්න.</verse>
				<verse number="12">නුවණැතියා විපත දුර තියා දැක අයින් වෙයි; අනුවණයා එය ඉදිරියට ගොස් දුක් විඳියි.</verse>
				<verse number="13">අමුත්තෙකුට ඇප වන විට ඇප වන්නාගේ ඇඳුම ඇපයට ගන්න, එය ඔහුගේ අත්තිකාරම මෙන් තබාගන්න.</verse>
				<verse number="14">ආචාර කිරීමට සිය මිතුරා අලුයම අවදි කිරීම ඔහුට සාප කිරීමක් වැනි ය.</verse>
				<verse number="15">කලහකාරී කතගේ කන්දොස්කිරියාව නොනැවතී වසින වැස්සක් වැන්න.</verse>
				<verse number="16">ඇය නැවැත්වීමට තැත් කිරීම සුළඟ අල්ලාගැනීම වැනි ය. තෙල් අහුරක් ගැනීම වැනි ය.</verse>
				<verse number="17">යකඩින් යකඩ මුවහත් වෙයි; එසේ ම මනසින් මනස දියුණු තියුණු වෙයි.</verse>
				<verse number="18">අත්තික්කා ගස බලාගන්නා එහි ගෙඩි කයි; තම හිමියාට සලකන්නා ගෞරවය ලබයි.</verse>
				<verse number="19">වතුරෙහි පිළිබිඹු වන්නේ ඔබේ ම මුහුණ ය; සිතෙහි පිළිබිඹු වන්නේ ඔබේ ම චරිතය ය.</verse>
				<verse number="20">පාතාලය හා අවීචිය කවදාවත් තෘප්තියට නොපැමිණෙයි; මිනිසාගේ තෘෂ්ණාව ද කවදාවත් සෑහීමට පත් නොවෙයි.</verse>
				<verse number="21">රිදී, කෝවයෙන් දැනගනිති; රන්, ගිනි උදුනෙන් දැනගනිති; මිනිසා, පැසසුමෙන් දැනගනිති.</verse>
				<verse number="22">මෝඩයෙකු වංගෙඩියක දමා මෝල් ගහෙන් කෙටුවත් මෝඩයාගෙන් මෝඩකම වෙන් කළ හැකි ද?</verse>
				<verse number="23">ඔබේ ගව පට්ටිවල තත්ත්වය මැනවින් දැනගන්න; ඔබේ ගව රැළට මුළු සිත දෙන්න.</verse>
				<verse number="24">ධන සම්පත් සදහට ම පවතින්නේ නැත. රජකම ද පරපුරෙන් පරපුරට පවතින්නේ නැත.</verse>
				<verse number="25">තණපත් මැලවුණ විට ළා තණ නැගෙයි. කඳු මත පලා ජාති එක්රැස් කරනු ලැබෙයි.</verse>
				<verse number="26">ඔබේ රෙදිපිළි පිණිස බැටළු පැටවුන් ද කෙතේ සම්පත පිණිස එළුවන් ද ඇත.</verse>
				<verse number="27">ඔබේ ද ඔබේ ගෙයි වැසියන්ගේ ද කෑම පිණිසත්, ඔබේ සේවිකාවන්ගේ නඩත්තුව පිණිසත්, සෑහෙන තරම් එළු කිරි ලැබෙනු ඇත.</verse>
			</chapter>
			<chapter number="28">
				<verse number="1">කිසිවෙකු ලුහුබැඳ නාවත් දුෂ්ටයා පලා යයි; එහෙත් ධර්මිෂ්ඨයා සිංහයෙකු මෙන් වැජඹෙයි.</verse>
				<verse number="2">කැරලිකාර රාජ්‍යයක නායකයෝ බොහෝ දෙනෙකි, එහෙත් නැණවත් පැණසර අයගෙන් යුත් රාජ්‍යයක් තිරසර ව පවතියි.</verse>
				<verse number="3">දිළිඳුන් පෙළන දුෂ්ටයා අස්වැන්න වනසන මහ වැස්සක් වැන්න.</verse>
				<verse number="4">නීති රීති කඩන්නෝ දුෂ්ටයන්ට පැසසුම් කරති; නීති රීති රකින්නෝ ඔවුන්ට විරුද්ධ ව සිටිති.</verse>
				<verse number="5">නපුරු මිනිස්සු යුක්තිය තේරුම් නොගනිති; සමිඳුන් සොයා යන්නෝ එය මුළුමනින් ම තේරුම්ගනිති.</verse>
				<verse number="6">වැරදි මඟ යන ධනවතාට වඩා හරි මඟ යන දිළින්දා අගනේ ය.</verse>
				<verse number="7">නීතිය රකින්නා නැණවත් පුත්‍රයෙකි; දාමරිකයන් ඇසුරු කරන්නා තම පියාට නිගාවකි.</verse>
				<verse number="8">වැඩි පොළියෙන් හා අයුතු ලාභයෙන් උපයන ඔබේ ධනය දිළිඳුන්ට දයාව දක්වන කෙනෙකුට හිමි වේ.</verse>
				<verse number="9">දේව නීතියට කන් නොදෙන්නාගේ යැදුම සමිඳුන් හට පිළිකුලකි.</verse>
				<verse number="10">අවංක අය නපුරු මඟට හරවන්නා තමා කැපූ වළේ ම වැටෙනු නියත ය; එහෙත් සත්පුරුෂයා ආසිරි ලබනු ඇත.</verse>
				<verse number="11">ධනවතා තමන් නැණවතෙකැ යි සිතයි; එහෙත් ඔහුගේ නියම තත්ත්වය දත් දිළිඳා එය වටහාගනියි.</verse>
				<verse number="12">දමිටු අය බලය ලබන කල සියල්ලෝ උත්සව පවත්වති. දුෂ්ට අය උසස් වන කල ඔව්හු බියෙන් සැඟවෙති.</verse>
				<verse number="13">තම වරද සඟවන්නා සෞභාග්‍යය නොදනියි; වරද පිළිගෙන, එය දුරලන අයට දයාව ලැබෙයි.</verse>
				<verse number="14">දේව ගරුබිය ඇත්නම් ඔබට වාසනාව ඇත; මුරණ්ඩුකම ඇත්නම් ඔබට විපත ඇත.</verse>
				<verse number="15">දුබල සෙනඟක් ආණ්ඩු කරන දුෂ්ටයා ගොරවන සිංහයෙකි, ගොදුරු සොයා යන වලසෙකි.</verse>
				<verse number="16">නැණ හීන අධිපතියා දරුණු පාලකයෙක් වෙයි; අයුතු ලාභයට ද්වේෂ කරන්නා දිගායු වළඳයි.</verse>
				<verse number="17">මිනීමැරීමේ වරදින් පෙළෙන්නා යුහුයුහු ව වළ පල්ලට යයි; කිසිවෙකු එය නොවළක්වත්වා.</verse>
				<verse number="18">අවංක ලෙස ජීවත් වෙන්නා ගැළවෙයි; වංක ලෙස ජීවත් වෙන්නා විපතට වැටෙයි.</verse>
				<verse number="19">වැර වීරියෙන් වගාකරන්නාට බතබුලත බහුල ය; නිෂ්ඵල ව්‍යාපාරවල යෙදෙන්නාගේ දිළිඳු බව ඉමහත් ය.</verse>
				<verse number="20">විශ්වාස කටයුතු මිනිසාට ආසිරි විපුල ය; ධනය ඉපැයීමට ඉක්මන් වන්නා දඬුවම් ලබනු නියත ය.</verse>
				<verse number="21">තරාතිරම් බැලීම හරි නැත; බත් කටක් තකා අපරාධයක් කරන්නෝ වෙති.</verse>
				<verse number="22">වස්තු ලෝභියා වස්තුව සොය සොයා වේගයෙන් දුවයි; කවදා හරි හිඟකමට පැමිණෙන බව ඔහු නොදනියි.</verse>
				<verse number="23">කපටි ඉච්චාවට වඩා අවංක විවේචනය ප්‍රශංසනීය ය.</verse>
				<verse number="24">දෙමවුපියන්ගෙන් සොරාගෙන එහි වරදක් නැතැ යි කියන්නා අන්ත හොරෙකි.</verse>
				<verse number="25">තණ්හාව ඇත්තා කලහ අවුස්සයි; සමිඳුන් කෙරේ විශ්වාසය තබන්නාට සෞභාග්‍යය ඇත.</verse>
				<verse number="26">හුදෙක් සිය නුවණෙහි රැඳෙන්නා මෝඩයෙකි; නැණවත් ලෙස හැසිරෙන්නා සුරැකි ව වසන්නෙකි.</verse>
				<verse number="27">දිළිඳුන්ට දෙන අයට කිසි හිඟයක් නැත; දිළිඳුන් දෙස නොබලන අයට අධික සාපය ඇත.</verse>
				<verse number="28">නොදැහැමි අය බලයට පත් වන විට වැසියෝ බියෙන් සැඟවෙති; ඔවුන් වැනසෙන විට දැහැමියෝ බලයට පත් වෙති.</verse>
			</chapter>
			<chapter number="29">
				<verse number="1">බොහෝ තරවටු ලැබ ලැබත් මුරණ්ඩු මිනිසාට ගැළවීමක් නැත; එයින් ඔහුට හිටිහැටියේ විනාශය පැමිණෙයි.</verse>
				<verse number="2">දමිටු අය පාලකයන් වන විට රට වැසියෝ ප්‍රීති වෙති. අදමිටු අය පාලනය කරන විට රට වැසියෝ දුකින් සුසුම්ලති.</verse>
				<verse number="3">ප්‍රඥාවට ගරු කරන්නා සිය පියාට ප්‍රීතිය ගෙන දෙයි; වෙසඟනන් ඇසුරු කරන්නා ඔහුගේ ධනය කාදමයි.</verse>
				<verse number="4">යුක්තියෙන් පාලනය කරන රජෙක් රටට චිරස්ථිතිය ගෙන දෙයි, එහෙත් වැසියන් පෙළා අයබදු ගන්නා රට වනසයි.</verse>
				<verse number="5">අනුන්ට ඉච්චා බස් දොඩන තැනැත්තේ තමාගේ ම පාදවලට උගුලක් අටවයි.</verse>
				<verse number="6">දුදනාගේ අයුතු වැඩ ඔහුට ම මලපතකි; සුදනා ගී ගයමින් තුටු පහටු වෙයි.</verse>
				<verse number="7">දැහැමියා දිළිඳාගේ හිමිකම් සලකයි; දුදනා එවැනි අවබෝධයක් නොදක්වයි.</verse>
				<verse number="8">අනුන්ට ගරහන මිනිස්සු නගරයට ගිනි තබති. එහෙත් නැණවත්හු උදහස් ගින්න නිවාදමති.</verse>
				<verse number="9">නුවණැතියා මෝඩයෙකු උසාවියට ගෙන ගියොත් තමා ම නින්දා අපහාස ලබනු මිස ඉන් වන වැඩක් නැත.</verse>
				<verse number="10">මිනීමරුවෝ නිදොස් අයට වෙර බඳිති; එහෙත් දැහැමියෝ නිදොස් අය රැකගනිති.</verse>
				<verse number="11">අනුවණයා සිය උදහස නොවළහා හෙළි කරයි; නැණවතා සිය උදහස වළකාගනියි.</verse>
				<verse number="12">පාලකයෙක් බොරු ප්‍රචාරවලට කන් දෙයි නම් ඔහුගේ නිලධාරීහු කුහකයෝ වෙති.</verse>
				<verse number="13">දිළින්දා හා ඔහු පෙළන අය අතර එක පොදු දෙයක් ඇත, ඒ දෙදෙනාට ම සෙත උදාවෙන්නේ සමිඳුන්ගෙනි.</verse>
				<verse number="14">සාධාරණකමින් දිළිඳුන් රක්නා රජුගේ සිහසුන සදහට ම තිරසර ය.</verse>
				<verse number="15">කෝටුව හා තරවටුව බුද්ධි වර්ධනය සලසයි; හිතු හිතූ දේ කරන දරුවා මවට ලජ්ජාවකි.</verse>
				<verse number="16">දුදනන් පාලනයට පත් වන විට අපරාධ වැඩි වෙයි; එහෙත් සුදනෝ දුදනන්ගේ වැටීම දකිති.</verse>
				<verse number="17">පුතු හික්මවන්න; එවිට ඔබේ සිතට සහනය ද ප්‍රීතිය ද ලැබෙයි.</verse>
				<verse number="18">ජීවිත දර්ශනයක් නැති තැන විනයක් නැත. විනය රක්නා අය වාසනාවන්ත ය.</verse>
				<verse number="19">මෙහෙකරුවා අවවාදයෙන් පමණක් නොහික්මෙයි; අවවාදය තේරුම් ගියත් ඔහු එය නොපිළිගනියි.</verse>
				<verse number="20">හිතා මතා කතා නොකරන මිනිසෙක් ඇද් ද? එවැන්නෙකුට වඩා අනුවණයෙකුට අනාගතයක් ඇත.</verse>
				<verse number="21">මෙහෙකරුවෙකු බාලවියේ සිට ම සව් සැප දී ඇති කළත්, අන්තිමේ දී ඔහු තුළ කළගුණ සැලකීමක් නැත.</verse>
				<verse number="22">කෝපාවිෂ්ට මිනිසා දබර උපදවයි; උදහසට පෙළඹෙන මිනිසා හැමවිට ම වරදට වැටෙයි.</verse>
				<verse number="23">අහංකාරය මිනිසෙකුගේ පරිහානියට හේතු වේ; එහෙත් නිහතමානී තැනැත්තා ගරු බුහුමන් ලබයි.</verse>
				<verse number="24">හොරෙකුට හවුල් වන්නා තමාගේ ම පරම සතුරෙකි; දිවුරුම් දුන්නත්, හොරා ඇත්ත නොපවසයි.</verse>
				<verse number="25">මිනිසුන්ට බිය වීම ඔහුට මලපතක් වෙයි; සමිඳුන් කෙරේ විශ්වාසය තැබීම ඔහුට රැකවරණය වෙයි.</verse>
				<verse number="26">පාලකයන්ගේ අනුග්‍රහය පතන්නෝ බොහෝ ය; එහෙත් යුක්තිය පැමිණෙන්නේ සමිඳුන්ගෙනි.</verse>
				<verse number="27">අදමිටු අය දමිටුන්ට පිළිකුලකි; දමිටු අය අදමිටුන්ට පිළිකුලකි.</verse>
			</chapter>
			<chapter number="30">
				<verse number="1">පහත දැක්වෙන්නේ, ජාකේගේ පුත් ආගුර්ගේ විශිෂ්ට අවවාදානුශාසනා ය: දෙවිඳුන් මා සමඟ නැත. මා සමඟ නැත. මම අසරණයෙක්මි.</verse>
				<verse number="2">මම මිනිසෙකු නොව, තිරිසනෙකු ව සිටිමි. මිනිසෙකුට හිමි, මිනිස් ප්‍රඥාව මට නැත.</verse>
				<verse number="3">මම කවදාවත් ප්‍රඥාව දැන නොගතිමි; දෙවිඳුන් පිළිබඳ දැනුමක් මට නැත.</verse>
				<verse number="4">සගලොවට නැඟී බැස ආවේ කවරෙක් ද? සිය දෑතින් සුළඟ අල්ලාගත්තේ කවරෙක් ද? සිය සළුවෙහි ජලය ඔතාගත්තේ කවරෙක් ද? මහ පොළොවේ සීමා පිහිටෙව්වේ කවරෙක් ද? ඔහුගේ නම කුමක් ද? ඔහුගේ පුත්‍රයාගේ නම කුමක් ද? නුඹ එවැනි කෙනෙකු දන්නෙහි ද?</verse>
				<verse number="5">දෙවිඳුන්ගේ හැම කියමනක් ම අත්දුටු සත්‍යය වේ; දෙව් සරණ පතන අයට එතුමාණෝ පලිහක් වැනි ය.</verse>
				<verse number="6">එතුමන්ගේ වචනවලට කිසිවක් එක් නොකරන්න; එසේ කළොත්, එතුමන් ඔබට තර්ජනය කරනු ඇත. ඔබ බොරුකාරයෙකු බව පෙන්වනු ඇත.</verse>
				<verse number="7">මා ඔබ වෙත ගෙනා අයැදුම් දෙකක් ඇත; මගේ දිවි ඇති තාක්, ඒවා ප්‍රතික්ෂේප නොකළ මැනව.</verse>
				<verse number="8">වංචාවත් මුසාවත් මා කෙරෙන් දුරු කළ මැනව. මට දිළිඳුකම වත් පොහොසත්කම වත් නුදුන මැනව. මට වුවමනා පමණට ආහාර දුන මැනව.</verse>
				<verse number="9">එසේ දිය යුත්තේ, මා සැප සම්පතින් පිරී, ඔබ හැරදමා, “ඔය කියන සමිඳාණෝ කවරෙක් දැ”යි නොකියන පිණිසත්, මා දිළිඳෙකු වී, සොරකමට වැටී, දෙවිඳුන්ගේ නාමයට අගෞරව නොකරන පිණිසත් ය.</verse>
				<verse number="10">මෙහෙකරුවෙකු ගැන හාම්පුතුට කේළාම් නොකියන්න, එසේ කළොත් සමහර විට ඔබ මෙහෙකරුගේ සාපය ලැබ දුක් විඳිනු ඇත.</verse>
				<verse number="11">සිය මුතුන්මිත්තන්ට දෙස් කියන, සිය මවුවරුන්ට සෙත් නොපතන, මිනිසුන් ඇත.</verse>
				<verse number="12">තමන්ගේ කිළිටි ගති සෝදා නොදමා, තමන් පවිත්‍ර යයි සිතන, මිනිසුන් ඇත.</verse>
				<verse number="13">අහංකාර, උඩඟු බැල්මක් ඇති මිනිසුන් ඇත.</verse>
				<verse number="14">මිහි පිට දිළිඳුන් ද ජනතාව අතරෙන් දුගීන් ද ගිලදැමීමට, කඩුපත් වැනි දත් හා පිහියා වැනි හකු ද ඇති මිනිසුන් ඇත.</verse>
				<verse number="15">“දෙන්න, දෙන්නැ”යි කියන, දූවරුන් දෙදෙනෙක් කූඩැල්ලාට ඇත. “ඇති, ඇති” කියන, තෘප්තියට නොපැමිණෙන දේවල් තුන හතරක් ඇත.</verse>
				<verse number="16">එනම්, පාතාලය ද වඳ ගැබ ද පිපාසයෙන් පෙළෙන මහ පොළොව ද දැවෙන ගින්න ද යන මේවා ය.</verse>
				<verse number="17">පියාට ගරහන, මහලු මව හෙළා දකින අයගේ දෑස දෙණියේ කපුටන් කනු ඇත, ගිජු ලිහිණියන්ට ගොදුරු වනු ඇත.</verse>
				<verse number="18">මට තේරුම්ගත නොහැකි කාරණා තුන හතරක් ඇත.</verse>
				<verse number="19">එනම්, අහස් කුසෙහි රාජාලියා පියාඹන මාවත ද කඳු මත සර්පයා යන පාර ද මහ සයුරේ නැව් යන මඟ ද ළඳක සමඟ මිනිසෙකුගේ පෙම් මාවත ද යන මේවා ය.</verse>
				<verse number="20">වෙසඟනකගේ කල්ක්‍රියාව මෙසේ ය: ඈ කම්සැපෙහි යෙදුණු පසු ඇඟපත සෝදාගෙන, “මා කළ වරදක් නැතැ”යි කියන්නී ය.</verse>
				<verse number="21">මහ පොළොව කම්පා කරවන, ඊට ඉසිලිය නොහැකි කරුණු තුන සතරක් ඇත.</verse>
				<verse number="22">එනම්, සේවකයෙකු රජ වීම ද මෝඩයෙකුට කෑම බීම බහුල වීම ද</verse>
				<verse number="23">පෙම් විරහිත කතක් විවාහ වීම ද ස්වාමිදුවගේ තැන සේවිකාව ගැනීම ද යන මේවා ය.</verse>
				<verse number="24">කුඩා වුව ද ඉතා නැණවත් ජාති සතරක් ලොව සිටිති.</verse>
				<verse number="25">කුරාකුහුඹුවෝ දුබල සත්තු ය; එහෙත් ගිම්හානයේ දී උන් කෑම රැස් කර තබති.</verse>
				<verse number="26">බෙන් හාවෝ බෙලහීන සත්තු ය; එහෙත් උන් සියල්ලෝ පර්වතවල සිය ගෙවල් තනාගනිති.</verse>
				<verse number="27">පළඟැටියන්ට රජෙක් නැත; එහෙත් උන් සියල්ලෝ පෙළ ගැසී ගමන් කරති.</verse>
				<verse number="28">හූනා අතින් අල්ලාගත හැකි සතෙකි; එහෙත් ඌ රජ මැදුරුවල සැරිසරයි.</verse>
				<verse number="29">අභිමාන ලෙස පියවර තබන තුන් වර්ගයක් සිටිති. අලංකාර ලෙස ඇවිදින තුන් හතර වර්ගයක් වෙති.</verse>
				<verse number="30">එනම්, මෘගයන් අතර ඉතා බලවත්, කිසිවෙකු වෙතින් අහකට හැරී නොයන සිංහ රාජයා ද</verse>
				<verse number="31">කිකිළියන් මැද නටන කුකුළා ද රැළට පෙරටු ව යන එළුවා ද සිව්රඟ සෙනඟ පිරිවරා යන රජ ද යන මොවුහු ය.</verse>
				<verse number="32">නුඹ මෝඩකමින් උඩඟු වී නපුරු බස් දොඩන්න පෙළෙඹෙන විට කට පියාගෙන නිහඬ වන්න.</verse>
				<verse number="33">කිරි කැලැත්තීමෙන් වෙඬරු සෑදෙයි, නහය මිරිකීමෙන් ලේ ගලා එයි, උදහස ඇවිස්සීමෙන් අඬදබර හටගනියි.</verse>
			</chapter>
			<chapter number="31">
				<verse number="1">මස්සාහි ලෙමුවෙල් රජුගේ මව ඔහුට දුන් උපදේශ මේ ය:</verse>
				<verse number="2">මාගේ ප්‍රියාදර පුත්‍ර රත්නය, මාගේ යැදුම් නිසා, මාගේ කුසෙන් බිහි වූ පුත් රුවන, මට සවන් දෙන්න.</verse>
				<verse number="3">ඔබේ මුළු කාය ශක්තිය කම්සැපට ම කැප නොකරන්න; ඔබේ සම්පත රජුන් වනසන කතුන් උදෙසා නාස්ති නොකරන්න.</verse>
				<verse number="4">ලෙමුවෙල්, මෙය අසන්න: රජුන්ට මද්‍යපානය ද රජ කුමරුන්ට සුරා ලෝලය ද නොහොබියි.</verse>
				<verse number="5">සුරාමතින් වෙරි වී ඔව්හු සමහර විට නීතිය අමතක කරති: පීඩිතයන්ගේ නඩු අවනඩු කරති.</verse>
				<verse number="6">මත්පැන් දිය යුත්තේ මරණාසන්න අයට ය; සුරාව දිය යුත්තේ ජීවිතය තිත්ත වූ අයට ය.</verse>
				<verse number="7">එවැනි අය මත්පැන් බී සිය දිළිඳුකම හා අවාසනාව අමතක කෙරෙත් වා.</verse>
				<verse number="8">තමන් උදෙසා කතා කළ නොහැකි අය වෙනුවෙන් කතා කරන්න; අනාථ වූවන්ගේ අයිතිවාසිකම් උදෙසා ඉදිරිපත් වන්න.</verse>
				<verse number="9">ඔවුන් උදෙසා කතා කොට සාධාරණ විනිශ්චයක් දෙන්න; අසරණයින්ට හා දිළිඳුන්ට යුක්තිය ඉටු කරන්න.</verse>
				<verse number="10">කාර්යක්ෂ ම බිරිඳක කොහෙන් සොයාගත හැකි ද? ඇගේ අගය මුතුමැණික්වලට වැඩි ය.</verse>
				<verse number="11">සිය සැමියා ඇය කෙරෙහි මුළු විශ්වාසය තබයි. ඔහුට සැප සම්පතින් අඩුවක් නැත.</verse>
				<verse number="12">දිවි ඇති තාක් ම ඈ ඔහුට අයහපත නොව යහපත කරන්නී ය.</verse>
				<verse number="13">ඈ ලොම් හා හණ සපයාගෙන සතොසින් අත්කම්වල යෙදෙයි.</verse>
				<verse number="14">ඈ වෙළඳ නැවක් මෙනි, ඇගේ ආහාර දුරකතරින් ගෙන්වාගනියි.</verse>
				<verse number="15">ඈ හිරු උදාවට පෙර නැඟිට පවුලේ උදවියට කෑම පිළියෙළ කරයි; දාසීන්ට වැඩ නියම කරයි.</verse>
				<verse number="16">ඈ කෙතක් ගැන සොයා බලා, එය මිලට ගනියි; ඇගේ ශ්‍රමයෙන් ලත් ආදායමින් ඈ මිදි වත්තක් වවයි.</verse>
				<verse number="17">ඈ කඩිසර ව වැඩ කරන්නී ය; වැඩට මුළු හිත යොදන්නී ය; ඇගේ දෑත සවිමත් කරගනියි.</verse>
				<verse number="18">සිය වෙළඳ ව්‍යාපාරවලින් ලාභ ඇති බව ඈ දනියි; රෑ යාමවල ඇගේ පහන නොනිවී දැල්වෙයි.</verse>
				<verse number="19">ඈ ඉද්දට ඇගේ අත් පොවා, දෑතින් වවුන්න අල්ලයි.</verse>
				<verse number="20">ඇගේ නොමසුරු අත දිළිඳුන් වෙත දිගු කර ඇත; එය යාචකාදීන් වෙත විදහා ඇත.</verse>
				<verse number="21">හිම වැටෙන කල එන විට පවුල ගැන ඇයට බියක් නැත; පවුලේ හැම අයට ම උණුසුම් වස්ත්‍ර ඇත.</verse>
				<verse number="22">ඈ ඇඳ ඇතිරිලි සාදාගනියි; ඇගේ ඇඳුම් සිහින් හණ හා රත්නිල් රෙද්දෙන් මසා ඇත.</verse>
				<verse number="23">ඇගේ සැමියා ප්‍රජා මූලිකයන් අතර අසුන්ගනියි; නගර වැසියන්ගෙන් ගරු බුහුමන් ලබයි.</verse>
				<verse number="24">ඈ සිහින් හණ රෙදි වියා ඒවා විකුණයි; වෙළෙඳුන්ට බඳපටි සපයා දෙයි.</verse>
				<verse number="25">ගෞරවයෙන් හා ශක්තියෙන් ඈ සමලංකෘත වී සිටියි. අනාගතය ගැන ඈට බිය සැක නැත.</verse>
				<verse number="26">ඈ නැණනුවණින් කතා බස් කරයි; කාරුණික ලෙස ගුරුහරුකම් දෙයි.</verse>
				<verse number="27">ඈ අලසකමින් තොර ව ක්‍රියා කරයි; පවුලේ කටයුතු මැනවින් සංවිධාන කරයි.</verse>
				<verse number="28">ඇගේ දූදරුවෝ ඇයට ආසිරි පතති. ඇගේ සැමියා ද ඇය පසසයි.</verse>
				<verse number="29">“අති ප්‍රශංසනීය කාන්තාවෝ තවත් ඇත; එහෙත් ඔවුන් අතර මුදුන් මල්කඩ ඔබ ය”යි ඔහු කියයි.</verse>
				<verse number="30">රූසිරිය මායාවකි, රූසපුව පහවන්නකි; එහෙත් දේව ගරුබිය ඇති කතට ගරු පැසසුම් ඇත.</verse>
				<verse number="31">ඇගේ වැඩ කටයුතුවල සඵලය වර්ණනා කරන්න; ඇගේ වැර වීරිය ජනතාවගේ පැසසුමට ලක් කරන්න.</verse>
			</chapter>
		</book>
		<book number="21">
			<chapter number="1">
				<verse number="1">ජෙරුසලමෙහි දාවිත් නිරිඳාණන් පුත් ධර්මදේශකයාගේ අනුශාසනාව මේ ය:</verse>
				<verse number="2">“සියල්ල නිස්සාර ය; සියල්ල නිස්සාර ය. හැම දෙය ම නිස්සාර ය”යි ධර්මදේශකයා පවසයි.</verse>
				<verse number="3">මිනිසාගේ ශ්‍රමයෙන්, මුළු මිනිස් ලොවේ ශ්‍රමයෙන් කිසි වැඩක් ඇද් ද?</verse>
				<verse number="4">එක පරපුරක් පහ ව යයි; තව පරපුරක් මතු වෙයි; එහෙත්, මහ පොළොව සදහට ම පවතියි.</verse>
				<verse number="5">හිරු උදා වෙයි, හිරු බැස යයි; එය උදා වූ තැනට ම යළිදු වහා පැමිණෙයි.</verse>
				<verse number="6">සුළඟ දකුණ බලා හමයි, සුළඟ උතුර බලා හමයි; එය කැරකි කැරකී හමයි. වටරවුමෙහි හමා ගොස් නැවත මුල් තැනට ම පැමිණෙයි.</verse>
				<verse number="7">සියලු ගංගා මුහුදට ගලා බසියි. එහෙත්, මුහුද පිරෙන්නේ නැත; ගංගා නික්ම ආ තැනට ම නැවත වතුර යයි.</verse>
				<verse number="8">හැම දෙය ම වෙහෙස ගෙන දෙන සුළු ය. එය කියා නිම කළ නොහැකි වෙහෙසකි. දැකීමෙන් ඇස තෘප්තියට නොපැමිණෙයි; ඇසීමෙන් කන තෘප්තියට නොපැමිණෙයි.</verse>
				<verse number="9">මතු ඇති වන්නේ පෙර තිබුණු දේ ම ය; මතු කරන්න තිබෙන්නේත් පෙර කළ දේ ම ය. මේ මුළු මිනිස් ලොවෙහි කිසි ම අමුතු දෙයක් නැත.</verse>
				<verse number="10">“මෙන්න, මෙය අමුතු දෙයකැ”යි මිනිස්සු කියති. එහෙත්, එය අප උපදින්නටත් පෙර සිදු වූවකි.</verse>
				<verse number="11">යටගිය දවස සිදු වූ දෙය ගැන මතකයක් නැත; මෙතැන් සිට සිදු වන දෙය ගැන ද මතු දවසේ දී මතකයක් නොවනු ඇත.</verse>
				<verse number="12">ධර්මදේශකයා වන මම ජෙරුසලමෙහි සිහසුන් අරා ඉශ්රායෙල් ජනතාව පාලනය කෙළෙමි.</verse>
				<verse number="13">මේ මිනිස් ලොවෙහි සිදු වන හැම දෙය ම ප්‍රඥා ඇසින් විමසා බැලීමට මාගේ සිත යොමු කෙළෙමි. දෙවියන් වහන්සේ මිනිසාට පවරා ඇති ඒ කටයුත්ත කෙතරම් කරදර සහිත ද?</verse>
				<verse number="14">මේ මුළු මිනිස් ලොවේ කෙරෙන හැම දෙය මම දිටිමි; ඒ හැම දෙය ම නිස්සාර ය; සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් වැන්න.</verse>
				<verse number="15">ඇද දේවල ඇද අරින්නට නොහැකි ය; නැති දේ ගණින්නට නොහැකි ය.</verse>
				<verse number="16">“මට පළමු ව ජෙරුසලමෙහි රජ කළ සියල්ලන්ට වඩා ගාම්භීර ප්‍රඥාව මට ඇත. එසේ ය, ප්‍රඥාව හා අවබෝධය හොඳට හුරු පුරුදු යැ”යි මම මට ම කියාගතිමි.</verse>
				<verse number="17">මෙසේ එක අතකින් ප්‍රඥාව හා අවබෝධය ද අනික් අතින් මෝහය හා අඥානකම ද තේරුම් ගැනීමට අවධානය යෙදුවෙමි. එය ද සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් මෙන් විය.</verse>
				<verse number="18">මන්ද, ප්‍රඥාව වැඩි වෙත්ම කරදර ද වැඩි වේ; දැනුම වැඩි වෙත්ම ශෝකය වැඩි වේ.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">මම විනෝදය සොයා, එයින් ප්‍රමුදිත වීමට සිතා ගතිමි. එය ද නිස්සාර දෙයක් විය.</verse>
				<verse number="2">සිනාව පිස්සුවක් බව ද විනෝදයෙන් සෙතක් නොවන බව ද මට පෙනිණි.</verse>
				<verse number="3">ප්‍රඥාව සෙවීමේ අදහස තිබිය දී ම මුළු මිනිස් ලොවෙහි මනුෂ්‍යයා යා යුතු යහ මඟ කුමක් ද කියාත්, මිනිස් වර්ගයාට ප්‍රීතිය දෙන්නේ කුමක් ද කියාත් දැනගන්න පිණිස මාගේ සිත ගත පිනවීමට මම තීරණය කර ගතිමි.</verse>
				<verse number="4">මම උදාර දේ කෙළෙමි; මම මන්දිර ගොඩනඟා, මිදිවතු වවාගත්තෙමි;</verse>
				<verse number="5">මම ගෙවුයන් තනා නානාප්‍රකාර පලතුරු ඒවායෙහි වගා කෙළෙමි.</verse>
				<verse number="6">ගස් වැවෙන ගෙවතුවලට වතුර සපයන පිණිස මම දිය පොකුණු සාදා ගතිමි.</verse>
				<verse number="7">මම දාසදාසීන් මිලේට ගතිමි. මාගේ ගෙයි ම උපන් වැඩකරුවෝත් සිටියෝ ය. මින් පෙර ජෙරුසලමෙහි විසූ අන් කිසිවෙකුට වඩා ගව පට්ටි හා එළු බැටළු පට්ටි මට වූ හ.</verse>
				<verse number="8">මාගේ විජිතයෙහි වූ රාජකීය භාණ්ඩාගාරවලින් රන් රිදී ද වෙන සම්පත් ද රැස් කරගතිමි. ගායක ගායිකාවෝ මට ගී ගැයූ හ. මිනිසෙකුගේ ප්‍රීතිය සපුරාලීමට ඇති පමණ වනිතාවන් මම සපයාගතිමි.</verse>
				<verse number="9">මෙසේ ජෙරුසලමෙහි මට පළමුවෙන් සිටි අන් හැමට වඩා ඉහළින් මම වැජඹුණෙමි. ප්‍රඥා මහිමය මා තුළ අඩු නො වී ය.</verse>
				<verse number="10">මා සිතූපැතූ කවර දෙයක් වුව ද මම ලබාගතිමි. මට රිසි වූ කිසි දෙයකින් මට අඩුවක් නො වී ය. ම සිත යොදා මා සාදාගත් හැම දෙය ගැන ම මම ආඩම්බර වීමි. ඒ හැම දෙය මාගේ සැපත විය.</verse>
				<verse number="11">එහෙත්, මා කළ හැම කාර්යයක් ම, වෙහෙස දරා කළ මාගේ හැම කටයුත්තක් ම දෙස මා බැලූ විට, ඒ සියල්ල නිස්සාර, හිස් ප්‍රයත්න බව ද සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් බව ද දුටුවෙමි.</verse>
				<verse number="12">එවිට මම ප්‍රඥාව, මෝහය හා අඥානකම කවරේ දැ යි සිතන්නට පටන් ගතිමි. මන්ද, එක රජෙකු කරන්නේ පෙර රජවරුන් කළ දේ ම ය.</verse>
				<verse number="13">අන්ධකාරයට වඩා ආලෝකය උතුම් සේ අඥානකමට වඩා ප්‍රඥාව උතුම් බව දැන් මට පෙනේ.</verse>
				<verse number="14">නුවණැති අය නුවණැසින් බලා ගමන් කරති. අනුවණ අය අඳුරෙහි ඇවිදිති. එහෙත්, ඒ දෙගොල්ලගේ ම ඉරණම එක ය.</verse>
				<verse number="15">එකල, “අනුවණයාට සිදු වූ දේ ම මටත් සිදු වන්නේ ය; ඉතින් මාගේ නුවණින් කුමන වැඩක් සිදු වී දැ”යි මම කල්පනා කෙළෙමි. එවිට, “මාගේ ප්‍රඥාවත් නිස්සාර දෙයකැ”යි මට පෙනිණි.</verse>
				<verse number="16">මන්ද, මතු පැමිණෙන දවස්වල සියල්ලන් ගැන මුළුමනින් ම අමතක වී යන බැවින්, අඥානයා ගැන මෙන් ම ප්‍රඥාවන්තයා ගැනත් මතකයක් නොතිබෙනු ඇත. අඥානයා මෙන් ම ප්‍රඥාවන්තයාත් නසිනු නියත ය.</verse>
				<verse number="17">මෙසේ මුළු මිනිස් ලොවෙහි හැම කටයුත්තක් ම අයහපත් බව මට පෙනිණි. මම ජීවිතයට අප්‍රිය කෙළෙමි. හැම දෙය ම සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් මෙන් නිසරු බව දිටිමි.</verse>
				<verse number="18">මුළු මිනිස් ලොවෙහි මා ගත් සියලු ප්‍රයත්නයන්, මාගේ ඇවෑමෙන් පහළ වන කෙනෙකුට තබා යා යුතු බැවින්, හැම දෙයක් ගැන ම මම කලකිරුණෙමි.</verse>
				<verse number="19">ඔහු ප්‍රඥාවන්තයෙක් වේ ද අඥානයෙක් වේ දැ යි කියන්නට දන්නේ කවරෙක් ද? මුළු මිනිස් ලොවෙහි වීර්යයෙන් හා ප්‍රඥාවෙන් මා ඉටු කළ හැම දෙය ම ඔහු සන්තක වනු ඇත. මෙය ද නිස්සාර දෙයකි.</verse>
				<verse number="20">එබැවින් මා මුළු මිනිස් ලොවෙහි කළ මාගේ මුළු කාර්යය ගැන මාගේ සිත කලකිරෙන්නට වන.</verse>
				<verse number="21">මනුෂ්‍යයෙක් ප්‍රඥාව, අවබෝධය හා දක්ෂතාව ඇති ව සිය කාර්ය ඉටු කරයි. එහෙත්, කිසි වෙහෙසක් නොදැරූ වෙන කෙනෙකුට ඒවායේ ප්‍රතිඵල තබා යන්නට ඔහුට සිදු වෙයි. මෙය ද නිෂ්ඵල, අසාධාරණ දෙයකි.</verse>
				<verse number="22">මනුෂ්‍යයා මුළු මහත් පොළොවෙහි වෙහෙස දරා කරන කටයුතුවලින් හා මානසික ශ්‍රමයෙන් ඔහුට කුමන වැඩක් වේ ද?</verse>
				<verse number="23">ජීවිතය මුළුල්ලේ ම ඔහුට ඇත්තේ කරදර හා සිත් වේදනාව පමණ ය. රාත්‍රියේ දී පවා ඔහුගේ සිතට නිස්කලංකයක් නැත. මෙය ද නිෂ්ඵල දෙයකි.</verse>
				<verse number="24">මිනිසෙකුට ඇති හොඳ ම දෙය නම්, තමා උපයාගත් දෙයින් සෑහීමට පත් ව, කා බී සැප සෙල්ලම් කිරීම ය. එහෙත්, එය ද දෙවියන් වහන්සේගෙන් එන වරමක් බව දිටිමි.</verse>
				<verse number="25">මන්ද, උන් වහන්සේගෙන් වෙන් ව කෑම අනුභව කරන්නටත්, සැප භුක්ති විඳින්නටත් පුළුවන් කෙනෙක් සිටිත් ද?</verse>
				<verse number="26">දෙවියන් වහන්සේ ඉදිරියෙහි යහපත් ව සිටින මනුෂ්‍යයාට උන් වහන්සේ ප්‍රඥාවත්, අවබෝධයත්, ප්‍රීතියත් දෙන සේක. එහෙත්, දෙවියන් වහන්සේ ඉදිරියෙහි යහපත් ව සිටින අයට හිමි වන පිණිස, උන් වහන්සේ පව්කාරයාට වෙහෙස දරා වස්තු රැස්කර තැබීමට සලස්වන සේක. මෙය ද නිෂ්ඵල දෙයකි. සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමකි.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">හැම දෙයට ම ප්‍රස්තාවක් ද මේ මහ පොළොවෙහි හැම කාරණයට ම නිසි කාලයක් ද ඇත.</verse>
				<verse number="2">උපදින්නට කාලයක් සහ නසින්නට කාලයක් ඇත; සිටුවන්නට කාලයක් සහ උදුරා දමන්නට කාලයක් ඇත;</verse>
				<verse number="3">මරන්නට කාලයක් සහ සුව කරන්නට කාලයක් ඇත; කඩා දමන්නට කාලයක් සහ ගොඩනඟන්නට කාලයක් ඇත;</verse>
				<verse number="4">අඬන්නට කාලයක් සහ සිනාසෙන්නට කාලයක් ඇත; වැලපෙන්නට කාලයක් සහ නටන්නට කාලයක් ඇත;</verse>
				<verse number="5">පෙම්වතුන්ට එක් වීමට කාලයක් සහ එයින් වැළකීමට කාලයක් ඇත. වැළඳගන්නට කාලයක් සහ වැළඳගැනීමෙන් වළකින්නට කාලයක් ඇත;</verse>
				<verse number="6">සොයාගන්නට කාලයක් සහ නැති වී යන්නට කාලයක් ඇත; තබාගන්නට කාලයක් සහ ඉවත දමන්නට කාලයක් ඇත;</verse>
				<verse number="7">ඉරාදමන්නට කාලයක් සහ එලලන්නට කාලයක් ඇත; නිශ්ශබ්ද ව සිටින්නට කාලයක් සහ කතා කරන්නට කාලයක් ඇත;</verse>
				<verse number="8">ප්‍රේම කරන්නට කාලයක් සහ ද්වේෂ කරන්නට කාලයක් ඇත; යුද්ධයට කාලයක් සහ සාමයට කාලයක් ඇත.</verse>
				<verse number="9">අපේ සියලු වැඩකටයුතුවලින් කවර ප්‍රයෝජනයක් ඇද් ද?</verse>
				<verse number="10">දෙවියන් වහන්සේ මනුෂ්‍ය වර්ගයා පිට තබා ඇති කාර්යය මම දනිමි.</verse>
				<verse number="11">උන් වහන්සේ සියලු දේ ම ඒ ඒ කාලයට සුදුසු ලෙස සකසා තිබේ. උන් වහන්සේ අතීතය හා අනාගතය පිළිබඳ හැඟීම් මිනිසුන්ගේ සිත්හි තබා ඇත. එසේ වුවත්, දෙවියන් වහන්සේ මුල සිට අග දක්වා කළ කාරණා දැනගන්නට මනුෂ්‍යයාට බැරි ය.</verse>
				<verse number="12">එබැවින් සිය ජීවිත කාලයේ දී ප්‍රීති වී හරි දෙය කිරීමට වඩා හොඳ දෙයක් ඔවුන්ට නැති බව මම තේරුම්ගතිමි.</verse>
				<verse number="13">අප කළ යුත්තේ, අප උපයාගත් දෙයින් කා බී ප්‍රීති වීම ය; එය දෙවියන් වහන්සේගේ දීමනාවකි.</verse>
				<verse number="14">දෙවියන් වහන්සේ කරන සියල්ල සදහට ම පවතින බව දනිමි. ඊට එක් කළ හැකි කිසිවක් නැත; ඉන් අඩු කළ හැකි කිසිවක් ද නැත. දෙවියන් වහන්සේ එය කර ඇත්තේ, මනුෂ්‍යයන් තමන් වහන්සේ ඉදිරියෙහි ගරුබිය දක්වන පිණිස ය.</verse>
				<verse number="15">දැන් තිබෙන දේ මින් පෙර ද තිබුණේ‍ ය. මතු සිදු වන්නට යන දෙය මින් පෙර ද සිදු විය. දෙවියන් වහන්සේ එම දේ ම නැවත නැවත සිදු කරන සේක.</verse>
				<verse number="16">මේ මිනිස් ලොවෙහි යුක්තිය තිබිය යුතු තැන අයුක්තිය ද සාධාරණකම තිබිය යුතු තැන අසාධාරණකම ද තිබෙන බව මම දිටිමි.</verse>
				<verse number="17">එවිට, “දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨයාත්, දුෂ්ටයාත් එක සේ විනිශ්චය කරනු ඇත; සියලු කාරණාවලටත්, සියලු වැඩවලටත් නියමිත කාලයක් පැමිණේ‍ යැ”යි මම සිතාගත්තෙමි.</verse>
				<verse number="18">“මනුෂ්‍යයන් මෙසේ ක්‍රියා කරන්නේ, දෙවියන් වහන්සේ ඔවුන් සෝදිසි කොට ඔවුන් තිරිසනුන්ට වඩා උසස් නොවන බව ඔවුන්ට දන්වන පිණිස ය”යි මම සිතින් සිතාගත්තෙමි.</verse>
				<verse number="19">ඉතින්, මනුෂ්‍යයන්ට හා තිරිසනුන්ට ඇත්තේ එක ම ඉරණමකි. තිරිසනා මෙන් ම මිනිසාත් මරණයට පත් වෙයි. මේ දෙගොල්ල ම මවා ඇත්තේ එක අයුරිනි. මෙසේ තිරිසනාට වඩා විශේෂ වාසියක් මිනිසාට නැත. හැම දෙය ම නිස්සාර ය.</verse>
				<verse number="20">සියල්ලෝ ම එක තැනකට යන්නෝ ය; සියල්ලෝ ම පස්වලින් වූ හ; සියල්ලෝ ම නැවත පස්වලට හැරී යන්නෝ ය.</verse>
				<verse number="21">මනුෂ්‍යයන්ගේ පණ ඉහළට නැඟී යනු ඇද්ද කියාත්, තිරිසනාගේ පණ පොළොවේ පස යටට බසිනු ඇද්ද කියාත් දන්නේ කවරෙක් ද?</verse>
				<verse number="22">මෙසේ මනුෂ්‍යයා තම කටයුතුවලින් ප්‍රීතිය ලබනවාට වඩා සැපතක් නැති බව දිටිමි; එය ඔහුගේ ඉරණම ය. මන්ද, මරණින් පසු තමාට සිදු වන දේ දකින්න ඔහු ආපසු ගෙනෙන්නේ කවරෙක් ද?</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">මේ මහ පොළොවෙහි කෙරෙන සියලු අයුක්තිය දෙස බැලූ විට පීඩා ලබන්නන්ගේ කඳුළු මම දිටිමි; ඔවුන්ට සනසන්නෙක් ද නො වී ය; ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේ‍ ය. එහෙත්, සනසන්නෙක් නො වී ය.</verse>
				<verse number="2">එබැවින්, “තව ම ජීවත් ව සිටින්නන්ට වඩා මළගිය ඇත්තන්ගේ තත්ත්වය යෙහෙකැ”යි මම කීයෙමි.</verse>
				<verse number="3">තවද, “ඒ දෙගොල්ලට ම වඩා මිහි පිට කෙරෙන නපුරු ක්‍රියා නොදුටු, තව ම නූපන් මිනිසා වාසනාවන්ත යැ”යි කල්පනා කෙළෙමි.</verse>
				<verse number="4">තවද, මිනිසෙකු අධික වීර්යයෙන් දක්ෂ ලෙස කටයුතු කරන්නේ, සිය අසල්වැසියා කෙරේ ඇති ඊර්ෂ්‍යාව නිසා බව මම දිටිමි. මෙය ද නිසරු කාර්යයකි. සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමකි.</verse>
				<verse number="5">“තමාගේ අත් දෙක අකුළාගෙන, වැඩක් නොකොට සාගින්නෙන් මැරෙන්නේ මෝඩයෙකැ”යි මිනිස්සු කියති.</verse>
				<verse number="6">එහෙත්, නිෂ්ඵල උත්සාහයෙන් දෑත පුරවා ගැනීමට වඩා, හිතේ කරදරයක් නැති ව එක මිටක් පුරවාගැනීම හොඳ ය.</verse>
				<verse number="7">එකල මම තවත් නිසරු දෙයක් මිහි පිට ඇති බව දිටිමි.</verse>
				<verse number="8">කාත් කවුරුත් නැති ව, හුදකලා ව වසන කෙනෙක් ඇත. ඔහුට පුත්‍රයෙක් වත්, සහෝදරයෙක් වත් නැත; එහෙත්, ඔහුගේ සියලු ම වැඩකටයුතුවල නිමාවක් නැත; ඔහු තමා උපයන වස්තුවෙන් තෘප්තියට නොපැමිණෙයි. “මම මෙසේ පණ නොතකා, වෙහෙස වී, සැපක් නැති ව වැඩ කරන්නේ කා උදෙසා දැ”යි ඔහු නොඅසයි. මෙය ද නිසරු දෙයකි, කාලකණ්ණි ජීවිතයකි.</verse>
				<verse number="9">එක් කෙනෙකුට වඩා දෙදෙනෙක් හොඳ ය; දෙදෙනෙකු එක් ව වැඩ කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගනු ඇත.</verse>
				<verse number="10">ඔවුන්ගෙන් කෙනෙකු වැටුණොත් අනික් තැනැත්තා සිය යහළුවා නැඟුටුවනු ඇත. එහෙත්, තමා නැඟුටුවන්න එවැනි කෙනෙකු නැති ව තනි ව සිට වැටෙන්නාට වන විපතක මහත!</verse>
				<verse number="11">තව ද, ශීත කාලයේ දී දෙදෙනෙකු එක් ව සැතපුණොත් ඔවුන්ට උණුසුම ලැබෙන්නේ ය. එහෙත්, කෙනෙකු තනියම උණුසුම් වන්නේ කොහොම ද?</verse>
				<verse number="12">තනි ව සිටින කෙනෙකු පරාජය විය හැකි ය. එහෙත්, සතුරාට විරුද්ධ ව සිටින්නට දෙදෙනෙකුට හැකි වෙයි. තුන් පොටේ ලණුවක් පහසුවෙන් නොකැඩෙන්නේ ය.</verse>
				<verse number="13">අවවාදයක් පිළිගන්න අකමැති අඥාන මහලු රජෙකුට වඩා දිළිඳු, නැණවත් යෞවනයෙක් හොඳ ය.</verse>
				<verse number="14">ඔහු හිරගෙදරින් රජ ගෙදරට ගිය, දිළිඳුකමින් රජකමට ගිය කෙනෙකු වුවත් එය සැබෑ ය.</verse>
				<verse number="15">“මිහි පිට ඇවිදින ජීවමාන මිනිසුන් අතර රජකමට සුදුසු එවැනි යෞවනයෝ ඇතැ”යි මට කල්පනා වේ.</verse>
				<verse number="16">ඔහු ගණන් කළ නොහැකි තරම් සෙනඟකට අධිපති ව රජකම් කරනු ඇත. එහෙත්, ඔහුගේ ඇවෑමෙන් පසු, ඔහු කළ දේ ගැන කෘතඥතාව දක්වන කිසිවෙක් නැත. මෙය ද නිසරු දෙයකි. සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමකි.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">ඔබ දෙවියන් වහන්සේගේ ගෘහයට යන විට ප්‍රවේසම් වන්න; අඥානයන් මෙන් පූජා ඔප්පු කිරීමට වඩා කීකරු වෙමින් ළං වීම හොඳ ය. මන්ද, තමන් නපුර කරන බව ඔව්හු නොදනිති.</verse>
				<verse number="2">කතා කිරීමට පෙර හොඳින් සිතා බලන්න; දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඉක්මන්කාරකමින් බාරහාර නොවන්න. මන්ද, දෙවියන් වහන්සේ ස්වර්ගයෙහි ය. ඔබ පොළොවෙහි ය. ඒ නිසා ඔබේ වචන ස්වල්ප වේ වා!</verse>
				<verse number="3">කටයුතු බහුල වීමෙන් කරදර වූ සිතට සිහින පෙනේ. වචන රාශියක් කියන විට අඥානයාගේ අනුවණකම මතු වෙයි.</verse>
				<verse number="4">ඔබ දෙවියන් වහන්සේට බාරහාර වන විට එය ගෙවන්නට පමා නොවන්න. මන්ද, උන් වහන්සේ අඥානයන්ට කැමැති නැත.</verse>
				<verse number="5">ඔබේ බාරහාර ගෙවන්න. බාරයක් වී නොගෙවා සිටීමට වඩා බාරයක් නොවී සිටීම හොඳ ය.</verse>
				<verse number="6">ඔබේ වචනවලින් පව් කිරීමට ඉඩ නොතබන්න. ‘මා අදහස් නොකළ දෙයකැ’යි පූජකයාට නොකියන්න. දෙවියන් වහන්සේ ඔබ කෙරේ උදහස් වී ඔබේ ව්‍යාපාර නාස්ති කරදමන්න උන් වහන්සේට ඉඩ තබන්නේ මන් ද?</verse>
				<verse number="7">හිස් වූ ස්වප්න රාශියකින් මෙන් ම, වචන රාශියකින් ද වැඩක් නැත. එබැවින් ඔබ දෙවියන් වහන්සේට ගරුබිය දක්වන්න.</verse>
				<verse number="8">දිළිඳුන්ට පීඩා කිරීම ද යුක්තිය හා සාධාරණකම පෙරළීම ද රටේ ඇති වන බව ඔබ දකින විට ඒ ගැන පුදුම නොවන්න. හැම නිලධාරියාට ම ඉහළින් ඊට වඩා උසස්, වෙන නිලධාරියෙක් ඇත.</verse>
				<verse number="9">මහ රජුගේ පවා ජීවිතය රඳා ඇත්තේ, කෙතේ අස්වනු පිට ය.</verse>
				<verse number="10">ධනසම්පතට ඇලුම් වන්නා ධනසම්පතින් වත්, වස්තුවට ඇලුම් වන්නා වස්තුවෙන් වත් තෘප්තියට නොපැමිණෙයි. මෙය ද නිසරු දෙයකි.</verse>
				<verse number="11">වස්තුව වැඩි වන්න, වැඩි වන්න එයින් නඩත්තු කළ යුතු අය ද වැඩි වෙති. ධනවතාට ඇති එක ම ප්‍රයෝජනය නම්, තමා ධනවතෙකු බව දැකීම ය.</verse>
				<verse number="12">කම්කරුවා ටිකක් කෑවත්, හුඟක් කෑවත් ඔහුට සුව සේ සැතපිය හැකි ය; එහෙත්, පොහොසතාට තමාගේ වස්තු සම්භාරය නිසා නින්දක් නැත.</verse>
				<verse number="13">මේ මිනිස් ලොවෙහි මහා අසාධාරණ දෙයක් ඇත.</verse>
				<verse number="14">එනම්, දුෂ්කර කාලයක දී ප්‍රයෝජනයට ගැනීමට මිනිසෙකු රැස්කර තබන වස්තුව යම් අභාග්‍යයකින් නැති වී, ඔහුගේ දූදරුවන්ට කිසිවක් නැති වී යාම ය.</verse>
				<verse number="15">ඔහු මවු කුසෙන් මෙලොවට නික්ම ආ ලෙස ම කිසිත් නැති ව ලොවින් තුරන් වන්නේ ය. තමාගේ අතින් උපයාගත් කිසිවක් ඔහු ගෙනයන්නේ නැත.</verse>
				<verse number="16">මෙය ද අයුක්තියකි; ඔහු ආ ලෙස ම ඔහු යන්නේ ය. සුළං රොදක් ඇල්ලීමට ඔහු ගන්න වෙහෙසින් ඔහුට ඇති ප්‍රයෝජනය කවරේ ද?</verse>
				<verse number="17">ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුට අන්ධකාරය හා දුක ඇත. දැඩි සිත් වේදනාව හා කෝපය ඇත.</verse>
				<verse number="18">මට අවබෝධ වූ එක දෙයක් තිබේ. එනම්, දෙවියන් වහන්සේ මිනිසෙකුට දෙන ජීවිතයේ සියලු දවස්වල මිහි පිට ඔහුගේ සියලු වැඩකටයුතුවලින් උපයාගත් දෙයින් ඔහු සෑහීමට පැමිණ, කා බී විනෝද වීම ය. ඔහුගේ ඉරණම එය වේ.</verse>
				<verse number="19">තවද, දෙවියන් වහන්සේ මනුෂ්‍යයෙකුට සැප සම්පත් දී, ඒවා භුක්ති විඳින්නටත්, තමාගේ කොටස රැගෙන එයින් ප්‍රීතිවන්නටත් සලසා තිබේ නම්, ඔහු ඒ ගැන කෘතඥා විය යුතු ය. එය දෙවියන් වහන්සේගෙන් එන දීමනාවකි.</verse>
				<verse number="20">මන්ද, දෙවියන් වහන්සේ ඔහුට ප්‍රීතිය දී ඇති බැවින්, කෙටි ජීවිතයක් ගැන ඔහුට කරදරයක් නැත.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">මිනිස් ලොවෙහි මා දුටු අයුක්තියක් ඇත. එය ඉතා බරපතල ය.</verse>
				<verse number="2">මිනිසෙකු ආසා වන හැම දෙයක් ම, වස්තුව, ධනසම්පත, ගෞරවය යන සියල්ල ම දෙවියන් වහන්සේ ඔහුට දුන්නත්, ඒවා භුක්ති විඳීමට ඔහුට ඉඩ නොදෙන බැවින් ඒවා අන්‍යයෙකු සතු වෙයි. මෙය නිසරු දෙයකි; තදබල වරදකි.</verse>
				<verse number="3">මනුෂ්‍යයෙකුට දාව දූදරුවන් සියයක් උපන්නත්, ඔහු දිගායු වැළඳුවත්, ඔහු සැපසම්පතින් තෘප්තියට පැමිණෙන්නේ වත්, ඔහුට සුදුසු භූමදානයක් ලැබෙන්නේ වත් නැත්නම්, උපන් ගෙයි දී මළ දරුවෙක් ඔහුට වඩා හොඳ යයි කීමි.</verse>
				<verse number="4">ඒ දරුවාගේ ඉපදීම නිෂ්ඵල ය. ඔහු අන්ධකාරයට පහ ව යයි. ඔහුගේ නම ද අමතක වනු ඇත.</verse>
				<verse number="5">ඔහු හිරු එළිය දුටුවේ වත්, කිසිවක් දැනගත්තේ වත් නැත.</verse>
				<verse number="6">එහෙත්, ඔහුට සහනයක් ඇත. අන්තිමේ දී ඒ දෙගොල්ල ම යන්නේ එක ම තැනට නොවේ ද?</verse>
				<verse number="7">මිනිසෙකු කොයි දෙය කරන්නේත් බඩවියත පුරවාගැනීමට ය. එහෙත්, ඔහුගේ සාගින්න කවදාවත් නොනිවෙයි.</verse>
				<verse number="8">ප්‍රඥාවන්තයෙක් අඥානයෙකුට වඩා හොඳ යයි කියන්නේ කොහොම ද? ජීවිතයට මුහුණ පා දැනුම ලැබීමෙන් දුප්පතාට ඇති වාසිය කුමක් ද?</verse>
				<verse number="9">එයින් කිසි වැඩක් නැත. එය සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් මෙන් නිෂ්ඵල ය. තව තවත් අමුතු දේ ලබන්න ආසා වීමට වඩා ලද දෙයින් සතුටු වී ජීවත් වීම හොඳ ය.</verse>
				<verse number="10">කොයි කවර දෙයක් වුව ද සිදු වන්නේ පූර්ව නියමයක් අනුව ය. තමාට වඩා බලවත් උතුමෙකු සමඟ විවාද කරන්න මනුෂ්‍යයෙකුට බැරි ය.</verse>
				<verse number="11">ඒ විවාදය වැඩිවන්න වැඩිවන්න එය තව තවත් නිෂ්ඵල වේ. එයින් ඔහුට කිසි වාසියක් නැත.</verse>
				<verse number="12">මනුෂ්‍යයාගේ ජීවිතයේ එනම්, සෙවණැල්ලක් මෙන් ඔහු ගතකරන ඔහුගේ නිෂ්ඵල ජීවිත කාලයේ පරම සම්පත කිමෙක් දැ යි දන්නේ කවරෙක් ද? නොහොත් මිහි පිට වසන මනුෂ්‍යයෙකුට මරණින් පසු කුමක් ඇද්දැ යි දන්නෝ කවුරු ද?</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">හොඳ නාමය සුවඳ විලවුන්වලට වඩා මිහිරි ය. උපත ලබන දවසට වඩා මියයන දවස හොඳ ය.</verse>
				<verse number="2">අවමඟුල් ගෙදරකට යාම මඟුල් ගෙදරකට යාමට වඩා හොඳ ය. මන්ද, මරණය හැම මිනිසාගේ ඉරණම වේ. ජීවත් ව සිටින කවුරුනුත් එය සිතට ගත යුතු ය.</verse>
				<verse number="3">සිනාවට වඩා ශෝකය හොඳ ය. මන්ද, එයින් මුහුණ මැලවී ගියත් නුවණ තියුණු වෙයි.</verse>
				<verse number="4">පැණවතාගේ සිත යොමු වන්නේ මරණය දෙසට ය; අඥානයන්ගේ සිත යොමුවන්නේ විනෝදය දෙසට ය.</verse>
				<verse number="5">අඥානයන්ගේ පැසසුමට සවන් දීමට වඩා ප්‍රඥාවන්තයාගේ තරවටුවට සවන් දීම හොඳ ය.</verse>
				<verse number="6">මන්ද, සැළිය යට උදුනෙහි දරකෝටු පුපුරන ශබ්දය යම්සේ ද අඥානයාගේ සිනාවත් එසේ ම ය. එහි කිසි ම තේරුමක් නැත.</verse>
				<verse number="7">බලහත්කාරකම් කිරීමෙන් නුවණැත්තා අනුවණයෙක් වෙයි. අල්ලස් ගැනීමෙන් චරිතය දූෂණය වෙයි.</verse>
				<verse number="8">යම් දෙයක අවසානය එහි ආරම්භයට වඩා හොඳ ය. අහංකාරයට වඩා ඉවසීම උතුම් ය.</verse>
				<verse number="9">කෝප වීමට ඉක්මන් නොවන්න. මන්ද, කෝපය සිතේ තබාගැනීම අනුවණකමකි.</verse>
				<verse number="10">“අතීතය වර්තමානයට වඩා හොඳ ව තිබුණේ‍ මන්දැ”යි ප්‍රශ්න නොකරන්න. එය බුද්ධිමත් ප්‍රශ්නයක් නොවේ.</verse>
				<verse number="11">ජීවත් ව සිටින කවරෙකු වුව ද ප්‍රඥාවන්ත විය යුතු ය.</verse>
				<verse number="12">ධනසම්පතින් ඇති වන ආරක්ෂාව හා සම ආරක්ෂාවක් ප්‍රඥාවෙන් ලැබෙනු ඇත. ප්‍රඥාව ඔබේ ජීවිතය සුරක්ෂිත ව තබයි. දැනුමෙන් ඇති වන වාසිය එය වේ.</verse>
				<verse number="13">දෙවියන් වහන්සේගේ ක්‍රියාවලිය මෙනෙහි කරන්න; උන් වහන්සේ ඇද කළ දේ ඇද අරින්න පුළුවන් කාට ද?</verse>
				<verse number="14">සැප සම්පත් ඇති කල ප්‍රීති වන්න; විපත ඇති කල මෙය කල්පනාවට ගන්න; සැපත හා විපත යන දෙක ම එවන්නේ දෙවියන් වහන්සේ ය. ඉන්පසු කුමක් වේ දැ යි කිසිවෙක් නොදනිති.</verse>
				<verse number="15">නිස්සාර ව ගෙවී ගිය මාගේ ජීවිතයේ දී මම හැම දෙය ම දැනගතිමි. සමහර විට දැහැමි කෙනෙක් මරණයට පත් වේ. දුෂ්ටයෙක් නපුරුකම් කළත්, දිගුකල් ජීවත් වේ.</verse>
				<verse number="16">පමණට වඩා ධර්මිෂ්ඨයෙක් නොවන්න. පමණට වඩා ඥානවන්තයෙක් නොවන්න. එසේ වීමෙන් ඔබ නැසී යන්නේ කුමට ද?</verse>
				<verse number="17">අධික ලෙස දුෂ්ට ව නො සිටින්න. අධික ලෙස අඥානයෙක් ද නොවන්න. අකාලයේ දී නැසී යන්නේ කුමට ද?</verse>
				<verse number="18">මෙහි දී මැද පිළිවෙත අනුගමනය කරන්න. කෙසේ වෙතත්, දේව ගරුබිය ඇති තැනැත්තේ සඵලවනු ඇත.</verse>
				<verse number="19">ප්‍රඥාව වූ කලී, අධිපතීන් දසදෙනෙකු නගරයකට කරන සේවයට වඩා උසස් සේවයක් කිරීමට මිනිසෙකුට ඇති ශක්තියකි.</verse>
				<verse number="20">කිසි ම වරදක් නොකොට, නිරතුරු යහපත ම කරන දැහැමි මිනිසෙක් ලොව කිසි තැනක නැත.</verse>
				<verse number="21">මිනිසුන් කරන හැම දෙයට ම ඔබේ සිත යොමු නොකරන්න. එසේ කළොත් සමහර විට ඔබේ වැඩකරුවා ඔබට දොස් තබන බව ඔබ අසනු ඇත.</verse>
				<verse number="22">මන්ද, ඔබත් නොයෙක් වර අනුන්ට එසේ ම දොස් තැබූ බව ඔබේ සිත දැනගනු ඇත.</verse>
				<verse number="23">මේ සියල්ල මම ප්‍රඥාවෙන් සෝදිසි කර බැලීමි. “මම ප්‍රඥාවන්ත වන්නෙමි”යි කීමි; එහෙත්, එය මා ඉක්මවා තිබුණේ‍ ය.</verse>
				<verse number="24">ජීවිතයේ තේරුම දත හැකි කාට ද? එය අපට තේරුම්ගත නොහැකි තරම් ගැඹුරු ය; අචින්ත්‍යය ද වේ.</verse>
				<verse number="25">මම ප්‍රඥාව ද කාරණාවලට හේතුව ද දැනගැනීමටත්, සෙවීමටත් ගවේෂණය කිරීමටත් සිත යොමු කෙළෙමි. එවිට නපුරුකම අඥානකම බව ද මෝහය උතුම්කම බව ද සනිටුහන් කර ගතිමි.</verse>
				<verse number="26">ස්ත්‍රිය මරණයටත් වඩා භයංකර ය. ඈ මලපතක් වැන්න; ඇගේ සිත දැලක් වැන්න; ඇගේ අත විලංගුවක් වැන්න. දෙවියන් වහන්සේ ඉදිරියෙහි යහපත් වන තැනැත්තේ ඇගෙන් මිදෙයි; එහෙත්, පවිටු අය ඈට අසුවෙති.</verse>
				<verse number="27">කරුණු වටහාගැනීම පිණිස එකක් පාසා විමසමින්, “මම මෙය දැනගතිමි”යි ධර්මදේශකයා කියන්නේ ය.</verse>
				<verse number="28">මට තවමත් සොයාගත නොහැකි වූ, මාගේ බුද්ධිය තවමත් විමසමින් සිටින කාරණයක් ඇත. දහසක් අතර ගරු කටයුතු එක මිනිසෙකු මට සම්බ වූ නමුත්, දහසක් අතර එවැනි ස්ත්‍රියක් නම්, මට සම්බ නොවූවා ය.</verse>
				<verse number="29">මම එක දෙයක් තේරුම් ගතිමි: එනම්, දෙවියන් වහන්සේ මනුෂ්‍යයා චාම්, අවංක කෙනෙකු ලෙස මැවූ සේක; එහෙත්, ඔහු ම තමා අවුල් වියවුල් කෙනෙකු බවට පත් කරගෙන ඇත.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">ප්‍රඥාවන්තයාට සම කළ හැකි කෙනෙක් ඇද් ද? කාරණයක අර්ථය දන්නේ කවරෙක් ද? මිනිසෙකුගේ මුහුණ ඔහුගේ ප්‍රඥාවෙන් පැහැපත් වෙයි; එහි රළුකම පහවී යයි.</verse>
				<verse number="2">රජුගේ ආඥා රක්ෂා කරන්න; ඔබ දෙවියන් වහන්සේට දිවුරුම් දුන් නිසා එසේ කරන්න.</verse>
				<verse number="3">රජු ඉදිරියෙහි රැඳී නොසිටින්න; නපුරු දෙයක නොපවතින්න; මන්ද රජු කැමැති ඕනෑම දෙයක් ඔහුට කළ හැකි ය.</verse>
				<verse number="4">රජු සිය ආධිපත්‍යය ඇති ව ක්‍රියා කරයි. ඔහු කුමක් කරන්නේ දැ යි ප්‍රශ්න කිරීමට කෙනෙක් නැත.</verse>
				<verse number="5">රජුගේ ආඥා රක්ෂා කරන්නාට අනතුරක් නැත. එසේ කළ යුතු කාල වේලාව හා අවස්ථාව ප්‍රඥාවන්තයා දනියි.</verse>
				<verse number="6">මන්ද, හැම කාරණයට ම වේලාවක් හා පිළිවෙළක් ඇත. එහෙත්, අපේ දැනුම ඉතා ස්වල්ප ය.</verse>
				<verse number="7">මතු දවස කුමක් සිදු වනු ඇද්දැ යි අපි නොදනිමු. එය අපට දැන්වීමට හැකි කෙනෙක් ද නැත.</verse>
				<verse number="8">මරණයෙන් වැළකීමට වත්, මරණය කල් දැමීමට වත් කෙනෙකුට නොහැකි ය. සටනෙන් මිදීමකුත් නැත; දුෂ්ටයාට, දුෂ්ටකම නිසා නිදහස්වීමක් නැත.</verse>
				<verse number="9">මෙකී සියල්ල ම දැක මම මිහි මත කෙරෙන සියලු වැඩවලට මාගේ සිත යොමු කෙළෙමි. වෙන අයට වද දීමේ බලය මනුෂ්‍යයෙකුට ලබාගත හැකි ය.</verse>
				<verse number="10">දුෂ්ටයන් සිය සොහොන්වල තැන්පත් කරනු ලබන හැටි ද එය බලා ආපසු එන විට, ඔවුන් දුෂ්ටකම් කළ නුවරෙහි වැසියන් ඔවුන්ට ප්‍රශංසා කළ හැටි ද මම දිටිමි. මෙය ද නිසරු දෙයකි.</verse>
				<verse number="11">නපුරු ක්‍රියාවකට විරුද්ධ ව නඩු තීන්දුව ඉක්මනින් ඉටු නොවන නිසා මිනිසුන්ගේ සිත් නපුර කිරීමට ඇදී යන්නේ ය.</verse>
				<verse number="12">පව්කාරයෙකු සිය වරක් නපුර කර බොහෝ කල් ජීවත් වුවත්, දෙවියන් වහන්සේට ගරුබිය පාන අයට එනම්, උන් වහන්සේ ඉදිරියෙහි ගරුබිය පාන අයට යහපත සිදුවන බව මම සැබැවින් ම දනිමි.</verse>
				<verse number="13">එහෙත්, දුෂ්ටයා දෙවියන් වහන්සේට ගරුබිය නොපාන බැවින් ඔහුට යහපත සිදු වන්නේ වත්, සෙවණැල්ලක් වැනි ඔහුගේ දවස දීර්ඝ වන්නේ වත් නැත.</verse>
				<verse number="14">මිහි මත දක්නට ඇති නිසරු දෙයක් වේ. එනම්, පවිටුන්ට සිදු විය යුතු දෙය දමිටුන්ට ද දමිටුන්ට සිදු විය යුතු දෙය පවිටුන්ට ද සිදු වීම ය. මෙය ද නිසරු දෙයකි.</verse>
				<verse number="15">දෙවිඳාණන් මිහි පිට මිනිසෙකුට දෙන ලුහුඬු ජීවිතයේ දී, කා බී විනෝද වීමට වැඩි අන් කිසි සැපතක් ඔහුගේ ජීවන සටනේ දී ඔහුට ඇද් ද? දෙවියන් වහන්සේ ඔහුට මිහි පිට දෙන ජීවිත කාලයේ දී ඔහුගේ ශ්‍රමයෙන් ඔහුට ඉතිරි වන්නේ මෙපමණ ය.</verse>
				<verse number="16">දිවා රෑ දෙක්හි මිහි මත සිදු වන දේ බලා, ප්‍රඥාව රැස්කර ගැනීමට මාගේ සිත යොමු කෙළෙමි.</verse>
				<verse number="17">එහෙත්, මිනිස් ලොවෙහි දෙවිඳාණන් සිදු කරන දෙය තේරුම්ගැනීමට පුළුවන් කමක් නැත; කොතරම් උත්සාහ කළත් තේරුම්ගත නොහැකි ය. ප්‍රඥාවන්තයා එය දැනගත්තේ යයි කියතත්, ඔහු පවා මුළු සත්‍යය නොදනියි.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">මෙකී සියල්ල ම සිතෙහි තබාගෙන, ඒ සියල්ල විමසා බැලීමි. ධර්මිෂ්ඨයන් හා ප්‍රඥාවන්තයන් ද ඔවුන්ගේ ප්‍රේමය හා වෛරය ද දෙවියන් වහන්සේ පාලනය කරන බව දිටිමි. යමෙකුට අනාගතයේ දී සිදු වන්නේ කුමක් ද කියා කිසිවෙක් නොදනිති.</verse>
				<verse number="2">සියලු දේ සියල්ලන්ට එක සේ සිදු වන්නේ ය. ධර්මිෂ්ඨයාට හා දුෂ්ටයාටත්, යහපත් අයට සහ අයහපත් අයටත්, පවිත්‍ර අයට හා අපවිත්‍ර අයටත්, පූජා කරන්නාට සහ පූජා නොකරන්නාටත් සිද්ධ වන්නේ එක ම දෙයක් වේ. පව්කාරයා හා යහපත් මනුෂ්‍යයා අතර වෙනසක් නැත. දිවුරුම් දෙන්නා සහ දිවුරුම් නොදෙන්නා අතර වෙනසක් නැත.</verse>
				<verse number="3">මිනිස් ලොවෙහි කෙරෙන සියල්ල අතර ඇති එක් වරදක් නම්, සියල්ලන්ට ම එක ඉරණමක් ඇති වීම ය. එනම්, මනුෂ්‍යයන්ගේ සිත් නපුරෙන් පිරී ඔවුන්ගේ මුළු ජීවිත කාලයෙහි මෝහය ඔවුන්ගේ සිත්වල තිබීම ය, ඉන්පසු ඔව්හු මියයන්නෝ ය.</verse>
				<verse number="4">ජීවත් වන සියල්ලන්ට යම්කිසි බලාපොරොත්තුවක් ඇත. මළ සිංහයෙකුට වඩා පණ ඇති බල්ලෙක් හොඳ ය.</verse>
				<verse number="5">මන්ද, ජීවත් ව සිටින අය තමන් මියයා යුතු බව දනිති; මියගිය අය කිසිවක් නොදනිති; ඔවුන්ට තවත් කිසි විපාකයක් නැත. ඔවුන් සහමුලින් ම මතකයෙන් ඉවත් ව යනු ඇත.</verse>
				<verse number="6">ප්‍රේමය ද වෛරය ද ඊර්ෂ්‍යාව ද යන කිසිවක් ඉතිරි වී නැත. මින්පසු මිනිස් ලොවෙහි සිදු වන කිසි දෙයකට ඔවුන් සහභාගි නොවනු ඇත.</verse>
				<verse number="7">ඔබ ගොස් ප්‍රීතියෙන් ඔබේ කෑම කා, තෘප්තිමත් සිතින් ඔබේ මුද්‍රික පානය බොන්න. මන්ද, දෙවියන් වහන්සේ ඔබේ කටයුතු ගැන සතුට ප්‍රකාශ කර ඇත.</verse>
				<verse number="8">නිතර ම සුදු වස්ත්‍ර හැඳ, හිසේ තෙල් ගා ප්‍රීතියෙන් ඉන්න.</verse>
				<verse number="9">උන් වහන්සේ මිහි පිට ඔබට දී තිබෙන ඔබේ නිෂ්ඵල ජීවිතයේ සියලු දවස්වල ඔබ ප්‍රේම කරන ඔබේ භාර්යාව සමඟ ජීවිතයේ ප්‍රීතිය භුක්ති විඳින්න. මන්ද, ජීවිතයෙන් ද මිහි පිට ඔබ ගන්න වෙහෙසෙන් ද ඔබට ලැබෙන එක ම කොටස එය වේ.</verse>
				<verse number="10">ඔබ අත තබන හැම කටයුත්තක් ම මුළු වීර්යයෙන් ඉටු කරන්න; ඔබ යන පාතාල ලෝකයෙහි කිසි වැඩක් වත්, යෝජනාවක් වත්, දැනගැන්ම වත්, ප්‍රඥාව වත් නැත.</verse>
				<verse number="11">මිනිස් ලොවෙහි තව දෙයක් මම තේරුම්ගතිමි. ශීඝ්‍ර ධාවකයාට නිතර ම දිනුම නොලැබේ. යුද බිමෙහි විකුම් පාන අයට නිතර ම ජය නොලැබේ. ප්‍රඥාවන්තයාට නිතර ම තම ජීවිකාව කරගත නොහැකි ය. බුද්ධිමත් අය නිතර ම ධනවත් අය නොවෙති. දක්ෂ විචක්ෂණ අය නිතර ම ඉහළ තනතුරු නොලබති. ඔය කාටත් අවසානය එළඹිය හැකි ය.</verse>
				<verse number="12">තමාගේ විපත්ති කාලය කවදා එයි දැ යි මිනිසා නොදනියි. හදිසියේ දැලකට අසු වන මසුන් මෙන් ද මලපතකට අසු වන පක්ෂීන් මෙන් ද ඔහු බලාපොරොත්තු නොවන වේලාවක දුර්භාග්‍යයකට අසු වේ.</verse>
				<verse number="13">මිහි පිට මෙවැනි ප්‍රඥාවක් ද දිටිමි. එය වැදගත් බව මට පෙනිණි.</verse>
				<verse number="14">මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙකු සිටි කුඩා නුවරක් විය; බලවත් රජෙක් අවුත් එය වටලා, ඊට විරුද්ධ ව මහ බලකොටු ගොඩනැඟුවේ ය.</verse>
				<verse number="15">එහි දිළිඳු ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙක් විය. ඔහුට සිය ප්‍රඥාවෙන් ඒ නුවර ගැළවිය හැකි විය. එහෙත්, කිසිවෙකු ඒ දිළිඳු මනුෂ්‍යයා ගැන සිතුවේ නැත.</verse>
				<verse number="16">“බලවන්තකමට වඩා ප්‍රඥාව හොඳ ය”යි මම කීවෙමි. එහෙත්, දිළිඳාගේ ප්‍රඥාව සුළු කරනු ලැබේ. ඔහුගේ වචනයට සවන් දීමක් නැත.</verse>
				<verse number="17">අඥානයන් අතර මොරහඬ දෙන ආණ්ඩුකාරයෙකුට සවන් දීමට වඩා නිශ්චලකමෙන් කතා කරන ප්‍රඥාවන්තයෙකුට සවන් දීම හොඳ ය.</verse>
				<verse number="18">යුද්ධායුධවලට වඩා ප්‍රඥාව අගනේ ය. එහෙත්, එක පව්කාරයෙකුට හොඳ දේවල් රැසක් බිඳදැමිය හැකි ය.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">මළ මැස්සෙකු නිසා සුගන්ධ විලේපනයක් නාස්ති වී යයි. එසේ ම ප්‍රඥා සම්භාරයක් එක මෝඩකමකින් වැනසී යයි.</verse>
				<verse number="2">ප්‍රඥාවන්තයාගේ සිත හරි දේට ද අඥානයාගේ සිත වැරදි දේට ද යොමු වෙයි.</verse>
				<verse number="3">එසේ ය, මෝඩයා මාර්ගයෙහි යන විට ඔහුගේ බුද්ධි හීනත්වයෙන් තමා මෝඩයෙකැ යි සියල්ලන්ට හෙළි කරයි.</verse>
				<verse number="4">ආණ්ඩුකාරයාගේ සිත ඔබට විරුද්ධ ව ඇවිළී ගියොත්, ඔබේ රක්ෂාවෙන් ඉවත් වී නොයන්න; මන්ද, සන්සුන්කමින් බරපතල වරදකට වුව ද සමාව ලැබිය හැකි ය,</verse>
				<verse number="5">අධිපතීන් අතින් සිදු වන වරදක් මේ මිහි පිට මා දැක ඇත.</verse>
				<verse number="6">එනම්, අඥානයන් බොහෝ උසස් තනතුරුවලට පත් ව සිටිද්දී, උත්තමයන් පහත් තැන්වල සිටින බව ය.</verse>
				<verse number="7">වහලුන් අසුන් පිට නැඟී යන අතර, අධිපතීන් වහලුන් මෙන් පයින් ගමන් කරනු දිටිමි.</verse>
				<verse number="8">වළක් හාරා තබන්නා එහි වැටෙන්නේ ය; තාප්පයක් කඩන්නාට සර්පයෙක් දෂ්ට කරයි.</verse>
				<verse number="9">ගල් වළක වැඩ කරන්නාට එයින් තුවාළ වෙයි; දර පළන්නාට එයින් අන්තරාය සිදු වෙයි.</verse>
				<verse number="10">පොරොව මොට්ට වූ විට එය මුවහත් නොකළොත් වඩා ශක්තිය යොදවන්න ඕනෑ වෙයි. ප්‍රඥාවන්තයාට සඵලය ළඟා වෙයි.</verse>
				<verse number="11">මතුරන්න පළමුවෙන් සර්පයා දෂ්ට කළොත් මතුරන්නාගෙන් පලක් නැත.</verse>
				<verse number="12">ප්‍රඥාවන්තයාගේ මුවින් නික්මෙන වචන ඔහුට ගෞරවය දෙයි; අඥානයාගේ වචන ඔහුට විනාශය ගෙනෙයි.</verse>
				<verse number="13">ඔහු කතාව අරඹන්නේ අනුවණකමිනි. ඔහු එය අවසන් කරන්නේ උමතු වූවකු ලෙසිනි.</verse>
				<verse number="14">අඥානයා දිගින් දිගට කතා කරයි; මතු සිදු වන දේ නොදනියි; ඔහුගේ ඇවෑමෙන් කුමක් සිදු වනු ඇද්දැ යි කාට කිව හැකි ද?</verse>
				<verse number="15">අඥානයා සිය වැඩ කටයුතුවලින් අධික වෙහෙසට පත්වනු ඇත; ඔහු ගෙදරට යන පාර වත් දන්නේ නැත.</verse>
				<verse number="16">එම්බා දේශය, ඔබේ රජු කටින් කිරි සුවඳ හමන දරුවෙකු ව සිටින විට ද ඔබේ අධිපතීන් රෑ පුරා කා බී ප්‍රීති වන විට ද ඔබේ විපත ළඟ ය.</verse>
				<verse number="17">එම්බා දේශය, ඔබේ රජු වංශවත් උසස් කුලයක දරුවෙකු වන විට ද ඔබේ අධිපතීන් ගිජුකමින් නොකා සනීප ශක්තිය පිණිස නිසි වේලාවට පමණක් කෑම කන විට ද ඔබ වාසනාවන්ත ය!</verse>
				<verse number="18">කම්මැලිකම නිසා මිනිසෙකුගේ වහල දිරා වැටෙන්නේ ය; ඔහුගේ අලසකම නිසා ගෙය බිඳ වැටෙන්නේ ය.</verse>
				<verse number="19">මංගල භෝජනයෙන් සන්තුෂ්ටිය ඇත; මුද්‍රික පානය ජීවිතය ප්‍රීතිමත් කරයි. ඒ කොයි දෙයටත් මුදල් අවශ්‍ය ය.</verse>
				<verse number="20">ඔබේ සිතෙන් වත් රජුට දෙස් නොකියන්න; ඔබේ යහන් ගබඩාවේ දී වත් වස්තුකාරයන්ට දොස් නොකියන්න. අහසේ පියාඹන සක්වාලිහිණියෙකු ඒ දන්වනු ඇත.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">නුඹේ ආහාර ජලය මතුපිට තබන්න. කුමක් හෙයින් ද බොහෝ දවසකට පසු ඒවා නුඹට නැවත සම්බවෙයි.</verse>
				<verse number="2">සත්දෙනෙකු හෝ අටදෙනෙකු හෝ සමඟ කොටස් බෙදාගන්න. මන්ද, ලොවෙහි කුමන විපත්ති කාලයක් උදා වනු ඇද්දැ යි කාට කිව හැකි ද?</verse>
				<verse number="3">වැහි වලාකුළු පිරී තිබෙන විට පොළොවට වැසි වසියි; ගසක් දකුණට වැටුණත්, උතුරට වැටුණත් එය වැටුණු තැන ම තිබෙයි.</verse>
				<verse number="4">සුළඟ ගැන බලා සිටින්නා වපුරන්නේ නැත. වලාකුළු ගැන බලා සිටින්නා අස්වැන්න කපා ගන්නේ නැත.</verse>
				<verse number="5">ගර්භණියකගේ කුසෙහි නව ජීවයක් සෑදෙන්නේ කෙසේ ද කියා ඔබ නොදන්නෙහි ය; එමෙන් ම හැම දෙය පිළියෙළ කරන දෙවියන් වහන්සේගේ වැඩ කටයුතු ඔබ නොදන්නෙහි ය.</verse>
				<verse number="6">උදේ වරුවේ බීජ වපුරන්න, සවස් වරුවේත් වපුරන්න. ඉන් කොයි ඒවා සඵල වේ ද කියා වත්, දෙවගේ ම එක සේ සරු වේ ද කියා වත් ඔබ නොදන්නෙහි ය.</verse>
				<verse number="7">සැබැවින් එළිය මිහිරි දෙයකි, ඉරු එළිය දැකීම ඇසට ප්‍රසන්න දෙයකි.</verse>
				<verse number="8">එසේ ය, මනුෂ්‍යයෙක් චිරාත් කාලයක් ජීවත් ව සිට ඔහු ඒ සියල්ලෙහි ප්‍රීති වේ වා! එහෙත්, අඳුරු දවස් එන බව ද ඒවා බොහෝ බව ද සිදු වන හැම දෙය ම නිසරු බව ද ඔහු අමතක නොකරාවා.</verse>
				<verse number="9">තරුණය, ඔබේ යොවුන් වියේ දී ප්‍රීති වන්න; ඔබේ යෞවන දවස්වල ඔබට සිත් සතොස ලැබේ වා! ඔබට රිසි යයි පෙනෙන පරිද්දෙන් ඔබ හැසිරෙන්න. එහෙත්, මේ සියල්ල ගැන දෙවියන් වහන්සේ ඔබ විනිශ්චයයට පමුණුවන බව දැනගන්න.</verse>
				<verse number="10">ඔබේ සිතෙන් දුක් කරදර ඉවත ලා ජීවත්වන්න. මන්ද, යෞවන කාලයත්, වැඩි මහලු කාලයත් නිෂ්ඵල ය.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">විපත්ති දවස් පැමිණෙන්නට පෙර ඔබේ යොවුන් වියේ දී ඔබේ මැවුම්කාර දෙවියන් වහන්සේ සිහි කරන්න. මන්ද, ඒවා ප්‍රිය නැතැ යි ඔබ කියන දවස් උදා වන්නේ ය.</verse>
				<verse number="2">ඒ කාලයේ දී ඉර, හඳ, තාරකාවල එළිය අඳුරු වන්නේ ය. වැහි වලාකුළු නොනැවතී එන්නේ ය.</verse>
				<verse number="3">ඒ කාලයේ දී ගෙයි රැකවල්ලු වෙවුළන්නෝ ය; බලවන්තයෝ දුබල ව කුදු වන්නෝ ය; අඹරන්නෝ ස්වල්ප බැවින් ඇඹරීම නවතින්නේ ය; කවුළුවලින් බලන්නන්ගේ ඇස් අඳුරු වන්නේ ය.</verse>
				<verse number="4">වීදියේ දොරවල් වසනු ලබන්නේ ය. ඇඹරීමේ ශබ්දය හීන වන්නේ ය. කුරුල්ලාගේ හඬට ද ඔහු අවදි වන්නේ ය. ගායිකාවන්ගේ ගී හඬ දුබල වන්නේ ය.</verse>
				<verse number="5">ඔව්හු උස් දෙයට භය වන්නෝ ය. මාර්ගයෙහි ද බියජනක දේ වන්නේ ය. ඔබේ හිසකේ කොට්ටම්බා ගසේ මල් මෙන් සුදු වන්නේ ය. ඔබ පළඟැටියා මෙන් ගාටමින් යන්නෙහි ය. ඔබේ කායික ආසා පහ ව යන්නේ ය. මන්ද, මනුෂ්‍යයා තමාගේ සදාතන නිවෙසට යන්නේ ය. විලාප කියන්නෝ ද වීදිවල ඇවිදින්නෝ ය.</verse>
				<verse number="6">එසේ වන්නේ, රිදී දාමය හා රන් බඳුන වැටී කැඩෙන්නටත්, දිය කඩිත්තේ කළය බිඳෙන්නටත්, ළිඳේ රෝදය කැඩෙන්නටත්,</verse>
				<verse number="7">අපේ ශරීර වරක් තිබුණු ලෙස පොළොවේ දූවිල්ලට හැරී යන්නටත්, මිනිස් හුස්ම එය දුන් දෙවියන් වහන්සේ වෙත හැරී යන්නටත් පළමුවෙන් ය.</verse>
				<verse number="8">සියල්ල නිසරු ය; සෑම දෙය නිසරු ය යි ධර්මදේශකයා පවසයි.</verse>
				<verse number="9">තවද, ධර්මදේශකයා ප්‍රඥාවත් ව සිටි නිසා ඔහු සෙනඟට වැඩි වැඩියෙන් දැනීම දුන්නේ ය. එසේ ය, ඔහු බොහෝ අවවාදානුශාසනා විමසා සොයාගෙන, ඒවා සම්පාදනය කෙළේ ය.</verse>
				<verse number="10">දේශනා කරන පිණිස සාරගර්භ වචන සොයන්නට උත්සාහ කෙළේ ය. මෙහි ග්‍රන්ථාරූඪ කොට ඇති සියල්ල හරි වූ සත්‍ය වූ කරුණු ය.</verse>
				<verse number="11">නැණවතුන්ගේ බස් එඬේරුන්ගේ තියුණු උල් සහිත කෙවිටිවලට ද ඔවුන්ගේ හිතෝපදේශ ලීයට තදින් ගැසූ ඇණවලට ද සමාන ය. එය එන්නේ, සකල ලෝක වාසීන්ගේ අසහාය නායකයාණන්ගෙනි.</verse>
				<verse number="12">තවද, මාගේ පුත්‍රය, මෙයින් දැනුමැතිකම් ලබන්න, පොත් ලිවීමෙහි නිමාවක් නැත. තවද, වැඩි උගත්කමෙන් වෙහෙසීම ඇති වේ.</verse>
				<verse number="13">මේ සියල්ල විමසා බැලීමෙන් පසු, අවසාන වචනයක් කිව යුතු ව ඇත: දෙවියන්ට ගරුබිය දක්වා, එතුමන්ගේ ආඥා පිළිපදින්න. මිනිසා මවන ලද්දේ ඒ සඳහා ය.</verse>
				<verse number="14">අපේ සියලු රහස් හොඳ හෝ නරක හෝ වේ වා දෙවියන් වහන්සේගේ විනිශ්චයයට භාජනය වනු ඇත.</verse>
			</chapter>
		</book>
		<book number="22">
			<chapter number="1">
				<verse number="1">
					සලමොන්ගේ ගීතවලින් ඉතා උතුම් ගීතය ය. පෙම්වතී
				</verse>
				<verse number="2">ඔබේ සිඹීම්වලින් මා නෑවී ඇත. ඔබේ ප්‍රේමය මිදියුසට වඩා සුමිහිරි ය.</verse>
				<verse number="3">ඔබේ සුවඳ විලවුන් සුමිහිරි ය. ඔබේ නම වෑහෙන සුවඳ විලවුන් වැනි ය. එබැවින් මුවැත්තියෝ ඔබට පෙම් වඩති.</verse>
				<verse number="4">මා ඔබ සමඟ ගෙන යන්න; අපි එකට දුවමු. මාගේ රජ තුමෙනි, ඔබේ විමනට මා ගෙන යන්න. එකට සිටීම අපට මහා ප්‍රීතියක් වනු ඇත. අපි ප්‍රේමයෙහි ඇලී ගැලී නෑවී සිටිමු. සියලු කාන්තාවන් ඔබට පෙම් කිරීම පුදුමයක් ද?</verse>
				<verse number="5">ජෙරුසලම් වනිතාවෙනි, මා කේදාර් කූඩාරම් මෙන් කළු නමුත් රූප සම්පන්න ය; සලමොන්ගේ මාලිගාවේ තිර මෙන් ශෝභන ය.</verse>
				<verse number="6">අව්ව මා පිට වැටීමෙන් මා මඳක් කළු වී සිටින නිසා මා හෙළා නොදකින්න. මාගේ සොහොයුරෝ මා සමඟ කෝප වී මිදි වත්තේ වැඩ කරන්න මට නියම කළහ; මා ගැන සලකන්න මට වේලාවක් නො වී ය;</verse>
				<verse number="7">
					මාගේ ප්‍රියාදර සොඳුර, මට මේ දේ කියන්න: ඔබේ බැටළු රැළ කවන්න ගෙනයන්නේ කොතැනට ද? ඉර මුදුන් වේලේ උන් ලග්ගන්නේ කොහේ ද?
					අන් එඬේරුන්ගේ පට්ටි අතරේ ඔබ සොයන්න මට ඇති උවමනාව කුමක් ද? පෙම්වතා

				</verse>
				<verse number="8">කාන්තාවන්ගෙන් ඉතා රුවැති සොඳුරිය, ඔබ මෙය නොදන්නෙහි නම්, රැළේ අඩි පාරේ ම ගමන් කර එඬේරුන්ගේ කූඩාරම් ළඟ ඔබේ එළු පැටවුන්ට කවන්න.</verse>
				<verse number="9">මාගේ සුන්දරිය, අශ්ව ධේනුවක පාරාවෝගේ රථවල අශ්වයන් කුල්මත් කරන සේ ඔබ මිනිසුන් කුල්මත් කරන්නෙහි ය.</verse>
				<verse number="10">ඔබේ කපොලු තලෙහි ඇති කෙස් රොදින් ද ඔබේ ගෙල වට ඇති මැණික් මාලාවලින් ද ඔබ අලංකාර වී ඇත.</verse>
				<verse number="11">
					රිදී පබුළු ඇති රන් මාලා ඔබට සාදා දෙන්නෙමි. පෙම්වතී

				</verse>
				<verse number="12">රජ සිය යහනේ සිටිය දී මාගේ සුවඳ විලවුන් විහිදී ගියේ ය.</verse>
				<verse number="13">මා පෙම්වතා මා පියයුරු අතරේ හෙවී සිටින විට සුවඳලාටුවල සුවඳ ඇත්තේ ය.</verse>
				<verse number="14">
					මා පෙම්වතා මට එන්ගෙදියේ මිදි වතුවල වැවුණ වන මල් පියුම් පොකුරක් වැනි ය. පෙම්වතා

				</verse>
				<verse number="15">
					මාගේ සොඳුරිය, ඔබ කොතරම් ශෝභා සම්පන්න ද?
					ප්‍රේමයෙන් ඔබේ ඇස් බැබළෙන රඟ! පෙම්වතී

				</verse>
				<verse number="16">මාගේ ප්‍රියය, ඔබ කොතරම් ශෝභන ද! කොතරම් පියකරු ද! අපේ යහන නිල් තණකොළ ය.</verse>
				<verse number="17">අපේ ගෙයි බාල්ක කිහිරි ගස් ය; එහි පරාළ දේවදාර ගස් ය.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">
					මම ෂාරොන්හි සෙව්වන්දියක් ය;
					මිටියාවත්වල මානෙල් මලක් ය. පෙම්වතා

				</verse>
				<verse number="2">
					කටු ගස් අතරේ මානෙල් මලක් යම් සේ ද යුවතියන් අතරේ මාගේ සොඳුරියත් එසේ ම ය. පෙම්වතී

				</verse>
				<verse number="3">වනයේ ගස් අතරේ ජම්බු ගස් යම් සේ ද තරුණයන් අතරේ මාගේ පෙම්වතාත් එසේ ම ය. ඒ රුක් සෙවණෙහි හිඳීමට මම ප්‍රිය කරමි; එහි ඵල මා මුවට ඉමිහිරි ය.</verse>
				<verse number="4">ඔහු බොදුන් හලට මා ගෙනායේ ය. මට උඩින් එසෙවු කොඩිය ප්‍රේමය ය.</verse>
				<verse number="5">වියළි මිදි පලවලින් මා ශක්තිමත් කරන්න; ජම්බුවලින් මා පණ ගන්වන්න. මන්ද, මම අනුරාගයෙන් ගිලන් වී සිටිමි.</verse>
				<verse number="6">ඔහුගේ වමත මාගේ හිස යට ඇත; දකුණතින් ඔහු මා වැළඳගෙන ඇත.</verse>
				<verse number="7">
					ජෙරුසලම් වනිතාවෙනි, ඔබ අප දෙදෙනා අතර ඇති ප්‍රේමයට බාධා නොකරන බවට කුඹුරේ දෙවි දේවතාවන්ගේ නාමයෙන් දිවුරන්න. පෙම්වතී

				</verse>
				<verse number="8">අන්න, මා පෙම්වතාගේ කට හඬ; කඳු මත පනිමින්, හෙල් පිට නඟිමින් බලන්න එන හැටි විගසින්.</verse>
				<verse number="9">මා පෙම්වතා මුවෙකු වැනි ය. ඔහු මුව පැටවෙකු වැනි ය; බිත්තිය අයිනේ සිටගෙන, කවුළුව දෙස බලමින් ඔහු සිටියි, ගරාදි අතරෙන් එබිකම් කරමින්;</verse>
				<verse number="10">මා පෙම්වතා මා අමතමින් මට මෙසේ කී ය: “මා සුරතලිය, නැඟිටින්න; මා සොඳුරිය, දැන් එන්න.</verse>
				<verse number="11">සිසිර කාලය දැන් පසු වී ඇත; වැසි වරුසා නතර වී ඇත.</verse>
				<verse number="12">මිහි පිට මල් පිපී ඇත; ගී ගයනා කාලය පැමිණ ඇත; කොවුල් හඬ දසත පැතිර යත.</verse>
				<verse number="13">පැසුණු දිඹුල් පල ඉදෙන විට, මිදිවැල් සුවඳ හමන විට, මා සුරතලිය, නැඟිට එන්න; මා සොඳුරිය, දැන් එන්න.</verse>
				<verse number="14">කඳු විවරවල, හෙල් කුහර තුළ මා පරෙවි දෙන, ඔබේ මුහුණ මට දකින්න දෙන්න; ඔබේ කට හඬ මට ඇසෙන්නට දෙන්න; ඔබේ කට හඬ මිහිරි ය; ඔබේ මුහුණ සෝබන ය.”</verse>
				<verse number="15">මිදිවැල්වල මල් පිපී ඇති විට ඒවා වනසන සිවලුන්, කුඩා සිවලුන් අල්ලා ගන්න.</verse>
				<verse number="16">මාගේ පෙම්වතා මාගේ ය; මම ඔහුගේ ය. ඔහු මානෙල් අතරේ බැටළු රැළ කවයි.</verse>
				<verse number="17">මාගේ පෙම්වත, උදේ සුළං හමන තුරු, සෙවණැලි පහ වන තුරු බෙතෙල් කඳු පිට යන මුවෙකු නොහොත් මුව පැටියෙකු මෙන් හැරී එන්න.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">රාත්‍රියෙහි මා යහනේ දී මා සිතින් ප්‍රේම කරන තැනැත්තා මම සෙවීමි. ඔහු සෙවූ නමුත්, ඔහු මට සම්බ නො වී ය.</verse>
				<verse number="2">ඉතින් මම නැඟිට නුවර වීදිවල ද මංහන්දිවල ද ඇවිද මා සිතින් ප්‍රේම කරන තැනැත්තා සොයන්නෙමි. ඔහු සෙවූ නමුත්, මට ඔහු සම්බ නො වී ය.</verse>
				<verse number="3">නුවර ඇවිදින මුර සෙබළුන් මට හමු වී “මා සිතින් ප්‍රේම කරන තැනැත්තා ඔබ දුටුවහු දැ”යි මම ඇසීමි.</verse>
				<verse number="4">
					මා මඳක් දුර ඔවුන් පසු කර ගිය විට මා සිතින් ප්‍රේම කරන තැනැත්තා මට සම්බ විය.
					මම ඔහු අල්ලාගෙන, මාගේ මවුගේ ගෙදරටත්, මා උපන් කාමරයටත් ඔහු පමුණුවන තෙක් ඔහුට යන්න ඉඩ නුදුනිමි. පෙම්වතා

				</verse>
				<verse number="5">
					“ජෙරුසලම් වනිතාවෙනි, ඔබ අප දෙදෙන අතර ඇති ප්‍රේමයට බාධා නොකරන බවට කෙතේ දෙවි දේවතාවන්ගේ නාමයෙන් දිවුරා මට පොරොන්දු වන්න.” ගායක පිරිස

				</verse>
				<verse number="6">ගන්ධ රස හා තුවරලාත්, වෙළෙන්දාගේ සියලු සුවඳ විලවුනුත් රැගෙන, දුම් කණු මෙන් කාන්තාරයෙන් නැඟී එන මේ තැනැත්තිය කවරෙක් ද?</verse>
				<verse number="7">බලන්න; ඒ දෝලාවක නැඟී එන සලමොන් රජු ය. ඉශ්රායෙල් බලවතුන්ගේ බලවත්තු සැටදෙනෙක් එය පිරිවරා සිටිති.</verse>
				<verse number="8">ඔව්හු සියල්ලෝ කඩු හරඹයෙහි දක්ෂයෝ ය. සටනෙහි පළ පුරුද්ද ඇත්තෝ ය. රැයේ ඇති විය හැකි ප්‍රහාර නිසා එකිනෙකා තම තමාගේ කඩුව කලවයේ බැඳගෙන සිටිති.</verse>
				<verse number="9">සලමොන් රජු තමන්ට සාදාගත් දෝලාව ලෙබනොන්හි ලීවලින් සාදන ලදී.</verse>
				<verse number="10">එහි කණු රිදීයෙන් ද එහි වහල රනින් ද සාදන ලදී. එහි ආසන ජෙරුසලම් කාන්තාවන් විසින් ආදරයෙන් වියන ලද රත්නිල් රෙදිවලින් වසා ඇත.</verse>
				<verse number="11">සියොන් වනිතාවෙනි, පිටතට අවුත්, සලමොන් රජුගේ මඟුල් දිනයේ දී, ඔහුගේ සිතේ ප්‍රීතියේ දවසේ දී, ඔහුගේ මෑණියන් ඔහුගේ හිස මත තැබූ කිරුළ පැළඳ සිටින රඟ නරඹන්න.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">
					පෙම්වතා

					මාගේ ප්‍රිය සොඳුරිය, ඔබ රුව ඇත්තී ය; එසේ ය, ඔබ රුව ඇත්තී ය. ඔබේ මුහුණ වැස්මට ඇතුළෙන් තිබෙන ඔබේ ඇස් පරෙවියන්ගේ ඇස් වැනි ය. ඔබේ වරලස ගිලියද් කඳු බෑවුමෙහි ලැග සිටින එළු රැළක් වැනි ය.
				</verse>
				<verse number="2">ලොම් කපා නාවන ලද බැටළුවන් මෙන් ඔබේ දත් සුදු ය. එකක්වත් අඩු නැත, මනා සේ ගැළපී ඇත.</verse>
				<verse number="3">ඔබේ තොල් රතු නූල් මෙන් ය. ඔබේ මුඛය ශෝභමාන ය. ඔබේ මුහුණු වැස්මට ඇතුළෙන් තිබෙන ඔබේ දෙකපොල දෙළුම් මෙන් ය.</verse>
				<verse number="4">ඔබේ ගෙල බලවතුන්ගේ පලිස් දහසක් එල්ලා තිබෙන ආයුධ තැබීමට ගොඩනැඟුවා වූ දාවිත් රජුගේ කොත මෙන් ය.</verse>
				<verse number="5">ඔබේ දෙතන මානෙල් අතරේ ගොදුරු කන මුව දෙනකගේ නිවුන් පැටවුන් දෙදෙනෙකු වැනි ය.</verse>
				<verse number="6">දවාල සිසිල් වී සෙවණැලි පහ ව යන තුරු, මම ගන්ධ රස කන්දටත්, තුවරලා හෙලටත් යන්නෙමි.</verse>
				<verse number="7">මාගේ සොඳුරිය, ඔබ මුළුමනින් ම රුව ඇත්තී ය; කැළලක් නැත්තී ය.</verse>
				<verse number="8">මාගේ මනාලිය, ලෙබනොන් සිට, එසේ ය, ලෙබනොන් සිට මා සමඟ එන්න සිංහයන්ගේ ගුහා වන, අඳුන් දිවියන්ගේ කඳු වන සෙනීර් සහ හෙර්මොන් කඳු මුදුනෙන් ද අමානා කඳු මුදුනෙන් ද බලන්න.</verse>
				<verse number="9">මාගේ සොහොයුරිය, මාගේ මනාලිය, ඔබ මාගේ සිත දිනාගත්තෙහි ය. ඔබේ නෙතගින්, ඔබේ ගෙලේ එක මාලාවකින් ඔබ මාගේ සිත දිනාගත්තෙහි ය.</verse>
				<verse number="10">මාගේ සොහොයුරිය, මාගේ මනාලිය, ඔබේ ප්‍රේමය කොපමණ මිහිරි ද? ඔබේ ප්‍රේමය මිදියුසටත්, ඔබේ විලවුන්වල සුවඳ සියලු සුවඳ ද්‍රව්‍යවලටත් වඩා කොපමණ අගනේ ද?</verse>
				<verse number="11">මාගේ මනාලිය, ඔබේ තොල්වලින් මී වදයකින් මෙන් පැණි වැගිරෙයි. ඔබේ දිව යට මී පැණිත්, කිරිත් තිබේ. ඔබේ වස්ත්‍රවල සුගන්ධය ලෙබනොන්හි සුවඳ මෙන් ය.</verse>
				<verse number="12">මාගේ සොහොයුරිය, මාගේ මනාලිය, ඔබ වැටකින් වට කළ උයනක් ය; වසා තිබෙන ළිඳක් ය; මුද්‍රා කර තිබෙන උල්පතක් ය.</verse>
				<verse number="13">එහි ගස් වැඩෙන්නේ ය; ඒවා දෙළුම් උයනක් වැනි ය; එහි ඉතා හොඳ ඵල හටගන්නේ ය.</verse>
				<verse number="14">ජටාමාංශ හා කුංකුමත්, වදකහ සහ කුරුඳුත්, සෑම තුවරලා ගසුත්, ගන්ධරස හා අගිල් ද සෑම ප්‍රධාන සුවඳ ද්‍රව්‍ය ද දරන ගසුත් එහි වැඩෙන්නේ ය.</verse>
				<verse number="15">
					දිය උල්පත්වලින් ද ගලා බසින දිය දහරින් ද ලෙබනොන් කඳුවලින් ගලා බසින ඇල දොළින් ද ඒ උයනට වතුර ලැබේ. පෙම්වතී

				</verse>
				<verse number="16">එම්බා උතුරු සුළඟ, පිබිදෙන්න; දකුණු සුළඟ, එන්න. මාගේ උයනේ සුවඳ විහිද යන පිණිස ඊට උඩින් හමා යන්න. මාගේ පෙම්වතා තමාගේ උයනට අවුත් තමාගේ අනර්ඝ ඵල අනුභව කරා වා!</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">
					පෙම්වතා

					මා සොහොයුරිය, මා මනාලිය, මම මාගේ උයනට අවුත්, මාගේ ගන්ධරස හා සුවඳ ද්‍රව්‍ය රැස් කරගතිමි. මී වදේ සමඟ මී පැණි කෑවෙමි. කිරි සමඟ මුද්‍රික පානය බීවෙමි. මිත්‍රයෙනි, කන්න; ප්‍රිය තැනැත්තෙනි, බොන්න.
					එසේ ය, ප්‍රේමයෙන් මත් වන තෙක් බොන්න. පෙම්වතී

				</verse>
				<verse number="2">මම නිදාගෙන සිටියෙමි. එහෙත්, මාගේ සිත පිබිද තිබිණි. අන්න, මාගේ පෙම්වතා දොරට තට්ටු කරන හඬ මට ඇසේ. ඔහු මා අමතමින් මෙසේ කී ය; මා සොහොයුරිය, මා සොඳුරිය, මා පරෙවි දෙන, මා නිර්මල තැනැත්ති ය, මට දොර අරින්න. මන්ද, මාගේ හිස පින්නෙනුත්, මාගේ වරලස රෑ පිණිබිංදු වලිනුත් පෙඟී තිබේ.</verse>
				<verse number="3">මාගේ හැට්ටය ගලවා තැබීමි. මා එය යළිත් අඳින්න ද? මා පාද සේදීමි; ඒවා මා කෙසේ කිළුටු කරම් ද?</verse>
				<verse number="4">මා පෙම්වතා දොර සිදුරෙන් අත දැමූ විට මාගේ හදවත ප්‍රීතියෙන් ඉපිලී ගියේ ය.</verse>
				<verse number="5">මා පෙම්වතාට දොර අරින්න මම නැඟිට්ටෙමි. දොරේ අගුල ඇල්ලූ විට ගන්ධරසය මාගේ අත්වල ද දියර ගන්ධරස මාගේ ඇඟිලිවල ද තැවරිණි.</verse>
				<verse number="6">මා පෙම්වතාට මම දොර ඇරියෙමි. එහෙත්, මා පෙම්වතා නික්ම ගොස් තිබිණි. ඔහු කතා කළ විට මට සිහි නැති විය. මම ඔහු සෙවීමි; එහෙත්, සම්බ නො වී ය. මා ඔහුට අඬගැසූ නමුත්, ඔහු මට පිළිතුරු නොදිනි.</verse>
				<verse number="7">නුවර මුර සෙබළු මට හමු වී මට පහර දී තුවාළ කළහ. පවුරුවල රැකවල්ලු මාගේ පොරෝණය මාගෙන් පැහැරගත්හ.</verse>
				<verse number="8">
					ජෙරුසලම් වනිතාවෙනි, මාගේ පෙම්වතා ඔබට හමු වුවොත්, මා ප්‍රේමාතුර ව සිටින බව ඔහුට දන්වන බවට මට දිවුරා කියන්න. ගායක පිරිස

				</verse>
				<verse number="9">
					කාන්තාවන්ගෙන් ඉතා ශෝභන තැනැත්තිය, අන් පෙම්වතෙකුට වඩා ඔබේ පෙම්වතාට ඇති අමුතු දෙය කුමක් ද?
					ඔබ මෙසේ අපට දිවුරන්න කියන්නේ අන් පෙම්වතෙකුට වඩා ඔබේ පෙම්වතාට ඇති කුමන අමුතු දේ නිසා ද? පෙම්වතී

				</verse>
				<verse number="10">මා පෙම්වතා කඩවසම් ය; දස දහසක් අතරේ සොයාගත හැකි ඔහු උත්තමයෙකි.</verse>
				<verse number="11">ඔහුගේ හිස ඉතා පිවිතුරු රත්රන් මෙන් ය. ඔහුගේ කෙස් රොද රැලි සහිත ය; කපුටුවෙකුගේ මෙන් කාලවර්ණ ය.</verse>
				<verse number="12">ඔහුගේ දෙනෙත් කිරෙන් සේදී, හොබනා ලෙස ඇල දොළ ළඟ සිටින පරෙවියන් වැනි ය.</verse>
				<verse number="13">ඔහුගේ දෙකොපුල් සුවඳ ගස් පාත්තියක් ද සුවඳ පැළ ඇති පස් කඳු ද මෙන් ය. ඔහුගේ දෙතොල් මානෙල් මෙනි; දියර ගන්ධරස එයින් වෑස්සෙන්නේ ය.</verse>
				<verse number="14">ඔහුගේ දෑත පුෂ්ටිමත් ය; ලශුණිය මැණික් ඇල්ලූ රන් මුදු පැළඳ ඇත. ඔහුගේ ගත නිල්මිණියෙන් සැරසුණු ඇත්දත් කර්මාන්තයක් වැනි ය.</verse>
				<verse number="15">ඔහුගේ කෙණ්ඩා අමිශ්‍ර රන් අඩි පිට පිහිටා තිබෙන සුදු ගල් කණු වැනි ය. ඔහුගේ ස්වරූපය ලෙබනොන් කඳු මෙන් තේජාන්විත ය. කිහිරි ගස් මෙන් අසමසම ය.</verse>
				<verse number="16">ඔහුගේ මුඛය ඉතා මිහිරි ය. එසේ ය, ඔහු මුළුමනින් ම පියකරු ය. ජෙරුසලම් වනිතාවෙනි, මාගේ පෙම්වතා මේ ආකාර ය; මාගේ මිත්‍රයා මෙබන්දෙක් ය.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">
					ගායක පිරිස

					වනිතාවන්ගෙන් ඉතා රූමත් තැනැත්තිය, ඔබේ පෙම්වතා කොතැනට ගියේ ද? ඔබේ පෙම්වතා කොයි දෙසට හැරී ගියේ ද?
					අපි ඔබ සමඟ ඔහු සොයන්නෙමු. පෙම්වතී

				</verse>
				<verse number="2">මා පෙම්වතා උයන්වල බැටළු රැළ කවන පිණිසත්, මානෙල් මල් නෙළා ගන්න පිණිසත් තම උයනෙහි සුවඳ පැළ ඇති පාත්තිවලට ගියේ ය.</verse>
				<verse number="3">
					මම මා පෙම්වතාගේ ය; මා පෙම්වතා මාගේ ය.
					ඔහු මානෙල් අතරේ තම රැළ කවයි. පෙම්වතා

				</verse>
				<verse number="4">මාගේ සොඳුරිය, ඔබ තිර්සා නගරය මෙන් අලංකාර ය. ජෙරුසලම මෙන් ශෝභන ය. කොඩිගත් සේනාවක් මෙන් බලසම්පන්න ව සිටින්නෙහි ය.</verse>
				<verse number="5">ඔබේ දෙනෙත මා වෙතින් ඉවතට හරවාගන්න; මන්ද, ඒවා මා වසඟ කරයි. ඔබේ වරලස ගිලියද්හි ලැග ඉන්න එළු රැළක් වැනි ය.</verse>
				<verse number="6">ලොම් කපා නාවන ලද බැටළුවන් මෙන් ඔබේ දත් සුදෝ සුදු ය. එකක්වත් අඩු නැත; මනා සේ ගැළපී ඇත.</verse>
				<verse number="7">ඔබේ මුහුණු වැස්මට ඇතුළෙන් තිබෙන ඔබේ දෙකපොල දෙළුම් පළු වැනි ය.</verse>
				<verse number="8">බිසෝවරුන් සැටක් ද උපභාර්යාවන් අසූවක් ද ගණන් කළ නොහැකි තරුණියන් ද සිටියත්,</verse>
				<verse number="9">මාගේ පරෙවි දෙනට, මාගේ නිර්මල තැනැත්තියට සම වූ අන් කෙනෙක් නැත. ඈ ඇගේ මවගේ එක ම දැරිය ය; ඈ බිහි කළ මවගේ ප්‍රියතම තැනැත්තී ය. වනිතාවෝ ඈ දැක ‘ඈ වාසනාවන්තී ය’යි කී හ. එසේ ය, බිසෝවරු ද උපභාර්යාවෝ ද ඇය දැක ඇය වර්ණනා කළහ.</verse>
				<verse number="10">අරුණාලෝකය මෙන් නැඟී එන, සඳ මෙන් රුව ඇති, ඉර මෙන් දිළිසෙන, කොඩිගත් සේනාවක් මෙන් බලසම්පන්න මේ තැනැත්තී කවරෙක් ද?</verse>
				<verse number="11">මම මිටියාවතේ ගස් කොළන් බලන පිණිසත්, මිදි වැල් දලු ලෑවේ ද කියාත්, දෙළුම් ගස්වල මල් පිපුණේ ද කියාත් බලන පිණිසත් කොට්ටම්බා උයනට බැස ගියෙමි.</verse>
				<verse number="12">
					මම වෙවුලමින් සිටිමි;
					යුද රියේ නියමුවා සටන පතන සේ ඔබේ ප්‍රේමය පතන්නට ඔබ මා උනන්දු කරවා ඇත. ගායක පිරිස

				</verse>
				<verse number="13">
					ෂුලම්මිය කාන්තාව, හැරී එන්න, හැරී එන්න, අප ඔබ නරඹන පිණිස හැරී එන්න, හැරී එන්න. පෙම්වතී

					නරඹන්නන් අතර මා නටන විට ඔබ මා බලන්න කැමැති වන්නේ මන් ද?
				</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">
					පෙම්වතා

					රාජ කුමරුවාණන්ගේ දියණියනි, වහන් ලා ගත් ඔබේ පා සඟළ කෙතරම් මනහර ද? ඔබේ කලවා සන්ධි කලා ශිල්පියෙකුගේ කෘතියක් වැනි ය.
				</verse>
				<verse number="2">ඔබේ නාභිය මිදියුස පිරුණු, වටකුරු පාත්‍රයක් වැනි ය. ඔබේ උදරය මානෙල් මලින් වට වූ තිරිඟු ගොඩක් වැනි ය.</verse>
				<verse number="3">ඔබේ පියයුරු නිවුන් මුව පැටවුන් දෙදෙනෙකු වැනි ය.</verse>
				<verse number="4">ඔබේ ගෙල ඇත්දත් කුළුණක් වැනි ය. ඔබේ ඇස් හෙෂ්බොන් නුවරෙහි බැත්-රබ්බිම් දොරටුව ළඟ තිබෙන පොකුණ වැනි ය. ඔබේ නාසය දමස්කය මුර කරන ලෙබනොන් කොත වැනි ය.</verse>
				<verse number="5">ඔබ ඔසවාගෙන සිටින හිස කර්මෙල් කන්ද වැනි ය. ඔබේ ගොතන ලද වරලස රත්නිල් කෙඳි වැනි ය. රජ තෙමේ ඒ කෙස් කළඹින් වසඟ වී සිටියි.</verse>
				<verse number="6">එම්බා සොඳුරිය, ප්‍රීතිය වඩවන්න ඔබ කොපමණ ශෝභන ද? ඔබේ ප්‍රේමය ප්‍රියජනක ය.</verse>
				<verse number="7">මේ ඔබේ උස ප්‍රමාණය තල් ගසකටත්, ඔබේ පියයුරු මිදි පොකුරුවලටත් සමාන ය.</verse>
				<verse number="8">‘මම තල් ගසට නැඟී එහි අතු අල්ලන්නෙමි’යි කීමි. ඔබේ පියයුරු මිදි පොකුරු මෙන් ද ඔබේ හුස්මේ සුවඳ ජම්බු මෙන් ද</verse>
				<verse number="9">
					ඔබේ මුඛය ඉතා අනගි මිදියුස මෙන් ද වේ වා!
					ඒ මිදියුස මා පෙම්වතා වෙත ඔහුගේ දෙතොල් පිටත්, දත් පිටත් ගලා යේ වා! පෙම්වතී

				</verse>
				<verse number="10">මම මාගේ පෙම්වතාගේ ය; ඔහුගේ ආශාව ද මා කෙරෙහි ය.</verse>
				<verse number="11">මාගේ පෙම්වත, එන්න, අපි පිටිසරට ගොස්, ගම්වල නැවතී සිටිමු.</verse>
				<verse number="12">අපි අලුයම නැඟිට මිදි වතුවලට ගොස්, මිදි වැල් දලු ලා මල් පිපුණේ ද දෙළුම් ගස්වල මල් පිපී තිබේ ද කියා බලමු. එහි දී මාගේ ප්‍රේමය ඔබට පිරිනමන්නෙමි.</verse>
				<verse number="13">දුදා ඵල සුවඳක් විහිදුවයි. අපේ දොරටු ළඟ අලුත් ද පරණ ද සියලු ආකාර අනර්ඝ පලතුරු ඇත. මාගේ පෙම්වත, ඒවා ඔබ උදෙසා තබාගතිමි.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">අනේ! ඔබ මාගේ මවුගේ පියයුරුවලින් කිරි බීවා වූ මාගේ සොහොයුරා මෙන් වී නම් මම කැමැත්තෙමි. එවිට පිටත දී ඔබ මට හමු වූ කල ඔබ මා සිඹගත්තත් කිසිවෙක් මා හෙළා නො දක්නේ ය.</verse>
				<verse number="2">මම ඔබ ගෙනගොස් මාගේ මවුගේ ගෙට පමුණුවන්නෙමි. ඔබ මට උගන්වන්නෙහි ය. මිශ්‍ර කළ මුද්‍රික පානය ද දෙළුම් යුස ද මම ඔබට බොන්න දෙන්නෙමි.</verse>
				<verse number="3">
					ඔබේ වමත මාගේ හිස යට තිබේ.
					ඔබේ දකුණත මා වැළඳගෙන ඇත. පෙම්වතා

				</verse>
				<verse number="4">
					ජෙරුසලම් වනිතාවෙනි, ඔබ අප අතර ඇති ප්‍රේමයට බාධා නොකරන බවට දිවුරුම් දෙන්න. ගායක පිරිස

				</verse>
				<verse number="5">
					තම පෙම්වතා අතින් අත ගෙන කාන්තාරයෙන් නැඟී එන මේ තැනැත්තිය කවරෙක් ද? ජම්බු ගස යට දී මම ඔබ පිබිදෙවුවෙමි. ඔබ උපන්නේ එහි දී ය;
					ඔබේ මව ප්‍රසව වේදනාව වින්දේ එහි දී ය. පෙම්වතා

				</verse>
				<verse number="6">ඔබේ හිතේ මා හැර අන් කිසිවෙකුට ඉඩ නොදෙන්න; ඔබේ අතින් අන් කිසිවෙකු වැළඳ නොගන්න. මන්ද, ප්‍රේමය මරණය මෙන් බලවන්ත ය; රාගය මිනීවළ මෙන් කෲරතර ය. එය ගිනි දලුවක් මෙන් දැල්වෙයි. එය බුර බුරා ඉහළ නඟියි.</verse>
				<verse number="7">මහා දිය දහරින් ප්‍රේමය නිවිය නොහැකි ය; මහා ගංවතුරට එය යට කළ නොහැකි ය. මිනිසෙකු ප්‍රේමය දිනාගන්නට තමාගේ ගෙයි සියලු සම්පත දුන්නත්, ඔහුට ලැබෙන්නේ අවමානය පමණකි.</verse>
				<verse number="8">අපට කුඩා සහෝදරියක් සිටින්නී ය; තවමත් ඇයට පියයුරු නැත. අපේ සහෝදරීට මංගල යෝජනාවක් කරන දවසේ දී අපි ඈ ගැන කුමක් කරමු ද?</verse>
				<verse number="9">
					ඈ පවුරක් නම්, ඈ පිට රිදී කොතක් ගොඩ නඟන්නෙමු.
					ඈ දොරක් නම්, කිහිරි ලීවලින් ඈ වට කරන්නෙමු. පෙම්වතී

				</verse>
				<verse number="10">
					මම පවුරක් මෙන් සිටිමි. මාගේ පියයුරු එහි කොත් කුළුණු ය.
					ඒ නිසා මා පෙම්වතා අබිමුව ලත් දෙයින් තුටු වී සාමයෙන් සිටිමි. පෙම්වතා

				</verse>
				<verse number="11">බාල්-හාමොන්හි සලමොන්ට මිදි වත්තක් තිබුණේ ය. ඔහු ඒ මිදි වත්ත බලන්නන්ට බාර දුන්නේ ය. එහි ඵල වෙනුවට රිදී දහසක් බැගින් ගෙනෙන්නට එකිනෙකාට නියම විය.</verse>
				<verse number="12">මට ම අයිති මිදි වත්තක් තිබේ. සලමොන්, ඔබට දහසක් ද එහි ඵල බලාගන්නන්ට දෙසියයක් ද දෙනු ලැබේ වා!</verse>
				<verse number="13">
					උයන්වල සිටින තැනැත්තිය, මාගේ මිතුරෝ ඔබේ හඬට සවන් දෙති.
					එය මට අසන්න ලැබේ වා! පෙම්වතී

				</verse>
				<verse number="14">මා පෙම්වත, ඉක්මන් කොට, සුවඳ ගස් ඇති කඳු පිට, තිත් මුවෙකු නොහොත් මුව පැටියෙකු මෙන් යුහුසුලු ව එන්න.</verse>
			</chapter>
		</book>
		<book number="23">
			<chapter number="1">
				<verse number="1">ජුදාහි රජවරුන් වූ උශ්ශියාගේ ද ජෝතාම්ගේ ද ආහාස්ගේ ද හෙසකියාගේ ද කාලයන්හි දී ජුදා දේශය හා ජෙරුසලම පිළිබඳ ව ආමොස්ගේ පුත් යෙසායාට දෙවියන් වහන්සේ එළිදරව් කළ පණිවුඩ මේ පොතේ සටහන් කර ඇත.</verse>
				<verse number="2">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සමිඳුන් වන මා කියන දේට අහස සවන් දෙන්න; පොළොව කන් දෙන්න. මා විසින් හදාවඩා, ඇතිදැඩි කරගන්නා ලද දරුවෝ ම මට විරුද්ධ ව කැරලි ගැසූ හ.</verse>
				<verse number="3">ගවයාට උගේ අයිතිකාරයා ගැන දැනුමක් ඇත; කොටළුවාට උගේ ස්වාමියාගේ පට්ටිය ගැන තේරුමක් ඇත. එහෙත්, මාගේ ඉශ්රායෙල් සෙනඟට එවැනි දැනුමක් නැත. මාගේ සෙනඟට තේරුම්ගැන්මක් කොහෙත්ම නැත.”</verse>
				<verse number="4">අනේ! පාපිෂ්ඨ ජාතියක් ද අපරාධයෙන් බර සෙනඟක් ද නපුර කරන වංශයක් ද දුෂ්ට ලෙස ක්‍රියාකරන දරුවන් ද වන ඔවුන් සමිඳුන් අත්හැර, ඉශ්රායෙල්හි ශුද්ධ තැනැන් වහන්සේ හෙළා දැක, එතුමන්ට පිටුපා ඇත.</verse>
				<verse number="5">ඔබ වඩ වඩා කැරලි ගසන්නේ වැඩි වැඩියෙන් දඬුවම් ලබන පිණිස ද? ඉශ්රායෙල් ජාතිය, ඔබේ හිස වණ වී ඇත. ඔබේ සිත මුළුමනින් ම දුර්වල ය.</verse>
				<verse number="6">හිස් මුදුන සිට යටි පතුල දක්වා කිසිම නිරෝගී තැනක් ඔබට නැත. තුවාළවලින් ද තැළීම්වලින් ද පැසවන වණවලින් ද ඔබේ සිරුර පිරී ඇත. ඔබේ තුවාළ සෝදා බැඳ නැත; ඒවාට බෙහෙත් තෙල් දමා නැත.</verse>
				<verse number="7">ඔබේ දේශය පාළු වී ඇත; නගර ගිනිබත් වී ඇත. ඔබ බලා සිටිය දී විදේශිකයෝ ඔබේ දේශය නැතිනාස්ති කරති. එය සොදොම් මෙන් පාළු වී ඇත.</verse>
				<verse number="8">ජෙරුසලම වනාහි මිදි වත්තක මඩුවක් මෙන් ද කැකිරි වත්තක පැල්පතක් මෙන් ද ආරක්ෂා රහිත වූ වටලනු ලැබූ නගරයක් මෙන් ද යන්තමින් ඉතිරි වී ඇත.</verse>
				<verse number="9">
					සව් බලැති සමිඳාණෝ මෙසේ ටික දෙනෙකුට ඉතිරි වන්න ඉඩ නුදුන් සේක් නම්, ජෙරුසලම ද සොදොම් හා ගොමොරා මෙන් සහමුලින් ම විනාශ වන්න ඉඩ තිබිණි.
				</verse>
				<verse number="10">එම්බා ජෙරුසලම! ඔබේ ප්‍රධානීහු ද සෙනඟ ද සොදොමේ හා ගොමොරාවේ සිටි අය වැනි ය. සමිඳුන් වදාරන දේට සවන් දෙන්න. දෙවිඳුන් උගන්වන දේ සිතට ගන්න.</verse>
				<verse number="11">එතුමාණෝ මෙසේ වදාරන සේක: “නුඹලාගේ නිමක් නැති පූජාවලින් මට වැඩක් ඇද් ද? බැටළුවන් දවන පූජා ද තර සතුන්ගේ තෙල් ද මට තිත්ත වී ඇත. එළු, බැටළු, ගව ලේ මට රුස්සන්නේ නැත.</verse>
				<verse number="12">නුඹලා මා නමදින්න පැමිණෙන විට මේවා ගෙනෙන්න කීවේ කවරෙක් ද? එසේ මාගේ මළුවෙහි පා තබන්න නුඹලාට කීවේ කවරෙක් ද?</verse>
				<verse number="13">ඔය නිෂ්ඵල පූජා තවත් නොගෙනෙන්න; දුම් පූජා මට ඉවසිය නොහැකි ය. අමාවක් උත්සව ද සබත් දවස් ද ආගමික රැස්වීම් ද මට රිසි නැත. නුඹලාගේ පාපවලින් ඒවා දූෂණය වී ඇත.</verse>
				<verse number="14">නුඹලාගේ අමාවක් උත්සව හා වන්දනා ගමන් මාගේ හද පත්ලෙන් මම හෙළා දකිමි. තවත් උසුලන්න බැරි තරමට ඒවා මට මහා බරකි.</verse>
				<verse number="15">මට අයැදින පිණිස නුඹලා අත් ඔසවන කල එය නොදකින ලෙස මම මාගේ ඇස් වසාගන්නෙමි. නොකඩවා යාච්ඤා කළත් කිසිසේත් සවන් නොදෙන්නෙමි. නුඹලාගේ අත් ලෙයින් පිරී ඇත.</verse>
				<verse number="16">ස්නානය කොට පිරිසිදු වන්න; මා ඇස් හමුයෙන් ඔය පව් දුරු කරන්න. නපුරුකම් තවත් නොකරන්න.</verse>
				<verse number="17">යහපත කරන්න ඉගෙන ගන්න; පීඩා විඳින්නන්ට පිහිට වන්න; අනාථයන්ගේ හිමිකම් රැක දෙන්න; වැන්දඹුවන් උදෙසා ඉදිරිපත් වන්න. මෙසේ යුක්තිය ඉටු කරන්න.</verse>
				<verse number="18">‘එන්න, අපි මේ ගැන සාකච්ඡා කරමු’යි සමිඳාණෝ වදාරන සේක. “නුඹලාගේ පව් රතට රතේ තිබෙන නමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේ ය; තද රතු පැහැයෙන් තිබෙන නමුත්, සුදු ලොම් මෙන් වන්නේ ය.</verse>
				<verse number="19">නුඹලා සිය කැමැත්තෙන් කීකරු වන්නහු නම්, දේශයේ සාරවත්කම භුක්ති විඳින්නහු ය.</verse>
				<verse number="20">අකීකරු වී කැරලි ගසන්නහු නම් කඩුවෙන් මැරුම් කන්නහු ය.” සමිඳාණෝ සිය සිරි මුවෙන් මෙය වදාළ සේක.</verse>
				<verse number="21">අහෝ, විශ්වාසවන්ත ව සිටි නුවර දැන් වෙසඟනක වී සිටින හැටි! එදා එහි සිටියෝ යුක්තිය ඉටුකළ දැහැමියෝ ය; අද සිටින්නෝ මිනීමරුවෝ ය.</verse>
				<verse number="22">එම්බා ජෙරුසලම! එක් කලක ඔබ රිදී මෙන් වූ නමුත්, දැන් ඔබේ වටිනාකමක් නැත. එක කලක ඔබ හොඳ මිදියුස මෙන් වූ නමුත්, දැන් වතුර සමඟ මිශ්‍ර වී ඇත.</verse>
				<verse number="23">ඔබේ මූලිකයෝ කැරලිකාරයෝ ය, සොරුන්ගේ මිතුරෝ ය. සියලු දෙන ම අල්ලසට ඇලුම් කරති. තම වාසිය සොයා යති; අනාථයන්ට යුක්තිය ඉටුකර නොදෙති; වැන්දඹුවන්ගේ නඩුවලට සවන් නොදෙති.</verse>
				<verse number="24">එබැවින්, ඉශ්රායෙල්වරුන්ගේ සව් බලැති සමිඳාණන් වදාරන මේ දේට සවන් දෙන්න; “මම මාගේ එදිරිකාරයන් අබිබවා මාගේ සතුරන්ගෙන් පළිගන්නෙමි;</verse>
				<verse number="25">මම නුඹලාට විරුද්ධ ව ක්‍රියාකර, ගිනි උදුනෙහි ලෝහ පිරිසිදු කරන්නාක් මෙන් නුඹලා පිරිසිදු කරන්නෙමි; නුඹලාගේ සියලු බොර රොඩු ආදිය ඉවත් කරන්නෙමි;</verse>
				<verse number="26">පෙර සිටියාක් මෙන් විනිශ්චයකාරයන් ද අනුශාසකයන් ද මම නුඹලාට නැවත දෙන්නෙමි. එවිට, ‘ජෙරුසලම ධර්මිෂ්ඨ නුවර ය, විශ්වාසවන්ත නුවර ය’යි කියනු ලැබේ.”</verse>
				<verse number="27">සමිඳුන් දමිටු වන බැවින් එතුමාණෝ ජෙරුසලම ද එහි සිටින එතුමන් වෙත හැරෙන සියල්ලන් ද ගළවන සේක.</verse>
				<verse number="28">එහෙත්, ද්‍රෝහිකම් කරන්නෝ ද පව්කාරයෝ ද එකට විනාශ කරනු ලබන්නෝ ය; සමිඳුන් අත්හරින්නෝ ද විනාශ වෙති.</verse>
				<verse number="29">නුඹලා කලින් රුක් වන්දනාවේ යෙදුණු බැවින් ද ශුද්ධ වූ උද්‍යාන පිහිටෙවූ බැවින් ද ඒවා ගැන ලජ්ජා වන්නහු ය.</verse>
				<verse number="30">නුඹලා කොළ මැලවී යන ආලෝන ගසක් මෙන් ද වතුර නැති උයනක් මෙන් ද වන්නහු ය.</verse>
				<verse number="31">ගින්නෙන් පිදුරු දැවී යන්නාක් මෙන් බලවත් අය තමන්ගේ ම පවිටු ක්‍රියාවලින් විනාශවන්නෝ ය. එය නැවැත්වීම කිසිවෙකුට වත් නොහැකි වේ.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">ජුදා සහ ජෙරුසලම පිළිබඳ ව ආමොස්ගේ පුත් යෙසායාට දෙවියන් වහන්සේ දුන් පණිවුඩය මෙසේ ය:</verse>
				<verse number="2">මතු කාලයේ දී සමිඳුන්ගේ දෙව් මැදුර පිහිටා ඇති කන්ද, උතුම් ලෙස ද සියලු කඳුවලට ඉහළින් තිබෙන ලෙස ද පිහිටුවනු ලබන්නේ ය. සියලු ජාතීහු එතැනට ගලා එන්නෝ ය.</verse>
				<verse number="3">බොහෝ දෙනෙකු පැමිණ මෙසේ කියනු ඇත: ‘එන්න, අපි යමු; සමිඳුන්ගේ කන්දට නඟිමු; ඉශ්රායෙල් දෙවිඳුන්ගේ මැදුරට පිවිසෙමු; එතුමාණන් පෙන්වන මාර්ගය ගැන ඉගෙන එහි ගමන්ගන්න අපට හැකි වනු ඇත.’ මන්ද, සමිඳුන්ගේ පණිවුඩය පැමිණෙන්නේ සියොන් කන්දෙන් ය; එතුමන් සෙනඟට කතා කරන්නේ ජෙරුසලමෙන් ය.</verse>
				<verse number="4">මහා ජාතීන් අතර භේද එතුමාණෝ නිරවුල් කරන සේක; එතුමාණෝ ජාතීන්ගේ කාරණා තීන්දු කරන සේක. තමන්ගේ කඩුවලින් නගුල් ද තමන්ගේ හෙල්ලවලින් දෑකැති ද ඔව්හු සාදාගන්නෝ ය. ජාතියක් ජාතියකට විරුද්ධ ව කඩු ගන්නේ නැත. ඔවුන් යුද්ධයට පුහුණු වන්නේ නැත.</verse>
				<verse number="5">අහෝ! ජාකොබ්ගේ වංශය එන්න, සමිඳුන්ගේ ආලෝකයෙහි අපි ඇවිදිමු.</verse>
				<verse number="6">සමිඳුනි, ඔබ තුමාණෝ ජාකොබ්ගේ වංශය වන තමන් සෙනඟ අත්හළ සේක. මන්ද, පෙරදිගින් පැමිණි යන්ත්‍ර මන්ත්‍රකාරයන්ගෙන් ද පිලිස්තිවරුන් මෙන් පේන කියන්නන්ගෙන් ද දේශය පිරී ඇත. සෙනඟ විදේශීන් සමඟ අත්වැල් බැඳගෙන සිටිති.</verse>
				<verse number="7">ඔවුන්ගේ දේශය රන් රිදීවලින් පිරී ඇත. වස්තුවට නිමක් නැත. ඔවුන්ගේ දේශය අශ්වයන්ගෙන් පිරී ඇත. ඒ රථවාහනවල නිමක් නැත.</verse>
				<verse number="8">ඔවුන්ගේ දේශය පිළිමවලින් පිරී ඇත. ඔව්හු සිය අත්වලින් තැනූ දේ නමදිති.</verse>
				<verse number="9">මේ නිසා සියලුදෙනා නින්දාවටත්, ලජ්ජාවටත් පත් වනු ඇත. සමිඳුනි, ඔවුන්ට කමා නොවුව මැනව.</verse>
				<verse number="10">සමිඳුන් උදහසින් ද එතුමන්ගේ බලයේ තේජාලංකාරයෙන් ද පලා යන පිණිස ඔව්හු ගල්ගුහාවල, නැතහොත්, බිංගෙවල් සාදාගෙන ඒවායෙහි සැඟවෙන්නෝ ය.</verse>
				<verse number="11">මිනිසාගේ අහංකාරය බිඳී යන, අභිමානය සිඳී යන දවසක් පැමිණෙන්නේ ය. ඒ දවසේ දී සමිඳාණෝ පමණක් උසස් කරනු ලබන සේක.</verse>
				<verse number="12">ඒ දවසේ දී සව් බලැති සමිඳාණෝ බලවත් වූ, අහංකාර වූ, උඩඟු වූ, හැම කෙනෙකු ම පහත් කරන සේක;</verse>
				<verse number="13">ලෙබනොන්හි ඇති උස් කිහිරි ගස් සියල්ල ද විනාශ කරන සේක; බාෂාන්හි ඇති ආලෝන ගස් ද</verse>
				<verse number="14">උස් කඳු හෙල් සියල්ල ද උස් කොත් හා සුරැකි පවුරු ද සමතලා කරන සේක;</verse>
				<verse number="15">***</verse>
				<verse number="16">තර්ෂිෂ්හි සියලු නෞකාවලට විරුද්ධ ව සහ සියලු අලංකාර නෞකාවලට විරුද්ධ වන සේක.</verse>
				<verse number="17">ඒ දවස පැමිණි විට මිනිසාගේ අහංකාරය බිඳී යන්නේ ය; අභිමානය සිඳී යන්නේ ය; සමිඳාණෝ පමණක් උසස් කරනු ලබන සේක.</verse>
				<verse number="18">සියලු පිළිම සහමුලින් ම පහකරනු ලබන්නේ ය.</verse>
				<verse number="19">සමිඳුන් පොළොව කම්පා කරවීමට පැමිණෙන විට එතුමන්ගේ උදහසින් ද එතුමන්ගේ බලයේ තේජාලංකාරයෙන් ද පලා යන පිණිස සෙනඟ ගල්ගුහාවල, නැතහොත්, බිංගෙවල් සාදාගෙන ඒවායෙහි සැඟවෙන්නෝ ය.</verse>
				<verse number="20">ඒ දවස පැමිණි විට, රන් රිදීවලින් සාදාගත් පිළිම ඔව්හු මීයන්ට හා වවුලන්ට අත්හැරදමති.</verse>
				<verse number="21">සමිඳුන් පොළොව කම්පා කරවීමට පැමිණෙන විට එතුමන්ගේ උදහසින් ද එතුමන්ගේ බලයේ තේජාලංකාරයෙන් ද බේරෙන පිණිස සෙනඟ ගල්ගුහා, නැතහොත්, බිංගෙවල් සාදාගෙන ඒවායෙහි සැඟවෙන්නෝ ය.</verse>
				<verse number="22">හුස්ම ටික පමණක් වන මිනිසා කෙරෙහි විශ්වාස නොකරන්න. ඔහුගේ වටිනාකම කුමක් ද?</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">සමිඳාණෝ එනම්, සව් බලැති සමිඳාණෝ ජෙරුසලමේ හා ජුදාවේ සෙනඟගේ පිහිටාධාරය වන සියලු දේ ඔවුන්ගේ ආහාර පාන ද ඉවත් කරන සේක.</verse>
				<verse number="2">වීරවරයන් ද හේවායන් ද විනිශ්චයකාරයන් හා දිවැසිවරයන් ද පේන කියන්නන් හා ප්‍රජා මූලිකයන් ද</verse>
				<verse number="3">හමුදාවේ හා රටවැසියන්ගේ නායකයන් ද මන්ත්‍රීවරුන් හා දක්ෂ යන්ත්‍ර මන්ත්‍රකරුවන් ද එතුමාණෝ පහකරන සේක.</verse>
				<verse number="4">සෙනඟගේ අධිපතීන් වශයෙන් ළා බාල අය සමිඳාණෝ පත් කරන සේක.</verse>
				<verse number="5">සෙනඟ එකිනෙකාට හා තම අසල්වැසියාට හිරිහැර කරන්නෝ ය. ගැටවරයෝ වැඩිහිටියන්ටත්, පහත් අය උසස් අයටත් ගෞරව නොකරති.</verse>
				<verse number="6">එක් වංශයකට අයිති අය තමන් අතරෙන් කෙනෙකු තෝරාගෙන, “ඔබට අඳින්න අඩු තරමින් වස්ත්‍රයක් ඇත; ඒ නිසා මේ අවුල් වියවුල් ඇති අවදියේ අපේ නායකයා වන්නැ”යි කියන කාලයක් පැමිණෙන්නේ ය.</verse>
				<verse number="7">එහෙත්, ඔහු පිළිතුරු දෙමින්, “ඔබ හැමට උදව් කරන්න මට නොහැකි ය. කෑම වත්, ඇඳුම් වත් මට නැත; ඔබේ නායකයා වශයෙන් මා පත් නොකරන්නැ”යි කියනු ඇත.</verse>
				<verse number="8">සැබැවින් ම ජෙරුසලම නැති නාස්ති වී ඇත. ජුදා වැටී ඇත. කුමක් නිසා ද ඔවුන් කරන කියන හැම දේ සමිඳුන්ට විරුද්ධ වේ. ඔව්හු දෙවිඳුන්ගේ මහිමය හෙළා දකිති.</verse>
				<verse number="9">ඔවුන්ගේ අහංකාර පෙනීම ඔවුන්ට විරුද්ධ ව සාක්ෂි දෙයි; සොදොම් වැසියන් මෙන් ඔව්හු එළිපිට ම පව් කරති; ඔවුන්ට වන විපතක මහත! එය ඔවුන් තමන් විසින් තමන් පිට ම පමුණුවාගෙන ඇත.</verse>
				<verse number="10">ධර්මිෂ්ඨයන්ට යහපත වන්නේ ය; ඔව්හු තමන්ගේ ක්‍රියාවල ඵල භුක්ති විඳින්නෝ ය.</verse>
				<verse number="11">එහෙත්, දුෂ්ටයන්ට වන විපතක මහත! ඔවුන්ගේ ක්‍රියාවල ඵල විපාක ඔවුන් පිට ම වැටෙනු ඇත.</verse>
				<verse number="12">මුදල් ණයට දෙන්නෝ මාගේ සෙනඟට හිරිහැර කරති; අයුතු පොළී ගන්නෝ ඔවුන් රවටති; දරුවෝ වැඩිහිටියන්ට හිරිහැර කරති; ස්ත්‍රීහු පාලනය තම අතට ගනිති. මාගේ ජනයෙනි, ඔබේ නායකයෝ ඔබ මුළා කරති; යා යුතු මඟ අවුල් කරති.</verse>
				<verse number="13">කරුණු ප්‍රකාශ කරන්නත්, ජාතීන් විනිශ්චය කරන්නත් සමිඳාණෝ අසුන් අරා සිටින සේක.</verse>
				<verse number="14">සමිඳාණෝ ප්‍රජා මූලිකයන් ද නායකයන් ද විනිශ්චය කරන්න පැමිණෙන සේක. එතුමාණෝ මෙසේ පැමිණිලි කරන සේක: “නුඹලා මිදි වතු සූරා කා දුප්පතුන්ගෙන් කොල්ලකාගත් දෙයින් නුඹලාගේ ගෙවල් පුරවාගන්නහු ය.</verse>
				<verse number="15">මාගේ සෙනඟ පාගාදමන්නත්, දුප්පතුන්ට අසාධාරණ දේ කරන්නත් නුඹලාට යුතු නැත. මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වන මම ය.”</verse>
				<verse number="16">සමිඳාණෝ මෙසේ වදාරන සේක; “ජෙරුසලම් ස්ත්‍රීහු කෙතරම් ආඩම්බර ද කියා බලන්න. ඔව්හු අහංකාරකමින් හිස ඔසවාගෙන, නුවන’ඟ බැලුම් හෙළමින්, පා සළඹ හඬ නංවමින් ඇවිදිති.</verse>
				<verse number="17">මම ඔවුන්ගේ හිස මුඩුකර, ඔවුන්ගේ රහස’ඟ නග්න කරන්නෙමි.”</verse>
				<verse number="18">සමිඳාණන් වහන්සේ ජෙරුසලමේ ස්ත්‍රීන් කෙරෙන්, ඔවුන්ගේ උඩඟුකමට හේතු වන දේවල් එනම්, පාදවලත්, බෙල්ලේත්, හිසේත් පළඳින ආභරණ ද;</verse>
				<verse number="19">අත් වළලු ද මුවවස්නා ද;</verse>
				<verse number="20">මකුට ද පාදදාම ද ඉඟපටි ද සුවඳ හෙප්පු ද සුර ද;</verse>
				<verse number="21">මුදු ද නාසාභරණ ද;</verse>
				<verse number="22">මංගල වස්ත්‍ර ද සළු ද උතුරු සළු ද පසුම්බි ද;</verse>
				<verse number="23">අත් කැටපත් ද සිහින් හණ රෙදි ද ලේන්සු ද ඇඟ වැසුම් ද පහකර දමන සේක.</verse>
				<verse number="24">එවිට සුවඳ ද්‍රව්‍ය වෙනුවට දුගඳ ද බඳ පටි වෙනුවට ලණුවක් ද මනා ලෙස ගෙතූ වරලස වෙනුවට හිස් මුඩුකම ද ශෝභමාන ඇඳුම් වෙනුවට දළ රෙදි ද රූපශ්‍රීය වෙනුවට විළිලජ්ජාව ද ඔවුන්ට ඇති වන්නේ ය.</verse>
				<verse number="25">නගරයේ සිටින පුරුෂයෝ ඉතා ශක්තිමත් අය වුව ද යුද්ධයේ දී මැරුම් කන්නෝ ය.</verse>
				<verse number="26">නගරයේ දොරටු අසලින් හැඬීමත්, වැළපීමත් නික්මෙනු ඇත. නගරය ද නග්න ව බිම වැතිර සිටින ස්ත්‍රියක මෙන් වන්නී ය.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">ඒ කාලයේ දී, ස්ත්‍රීන් හත්දෙනෙක් එක මිනිසෙකු අල්ලාගෙන, “තනිව සිටීමේ නින්දාව පහ කරගන්න පිණිස නුඹ අපේ ස්වාමි පුරුෂයා යයි කියන්න අපට ඉඩ දුන මැනව; අපේ කෑම බීම හා ඇඳුම්පැළඳුම් අපට ම සපයාගත හැකි යැ”යි කියන්නෝ ය.</verse>
				<verse number="2">සමිඳාණන් වහන්සේගේ අංකුරය අලංකාර ව හා සරුසාර ව වැඩෙන කාලයක් පැමිණෙන්නේ ය. ඉශ්රායෙල්හි ඉතිරි ව සිටින සෙනඟ භූමියෙන් හටගන්න අස්වැන්න ගැන ආඩම්බර වෙති. ප්‍රීති වෙති.</verse>
				<verse number="3">ජෙරුසලමේ ඉතිරි ව සිටින අය එනම්, විනාශ නොවී ජීවත් ව සිටින පිණිස දෙවියන් වහන්සේ විසින් තෝරා ගනු ලැබූ අය, ‘ශුද්ධවන්තයෝ යැ’යි කියනු ලබන්නෝ ය.</verse>
				<verse number="4">සමිඳාණන් වහන්සේ ස්වකීය බලයෙන් සියොන්හි ස්ත්‍රීන් විනිශ්චයකර, පිරිසිදුකර ජෙරුසලමේ අපරාධය ද එහි වගුරුවනු ලැබූ ලේ ද සෝදා හරින සේක.</verse>
				<verse number="5">එවිට උන් වහන්සේ සියොන් කන්දට හා එහි සිටින සියල්ලන්ට ඉහළින් දවාලේ වලාකුළක් ද රාත්‍රියේ දුමාරයක් හා දීප්තිමත් ගින්නක් ද මවා එවන සේක. දෙවියන් වහන්සේගේ තේජාලංකාරය මුළු නගරය වසා ගෙන එය ආරක්ෂා කරන ආවරණයක් මෙන් වන්නේ ය.</verse>
				<verse number="6">එය දාවල් ග්‍රීෂ්මයෙන් මුවා වීමට සෙවණක් පිණිසත්, රක්ෂා ස්ථානයක් පිණිසත් කුණාටුවෙන් හා වර්ෂාවෙන් ආරක්ෂා වීමට ස්ථානයක් පිණිසත් වන්නේ ය.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">මාගේ පෙම්වතාට ඔහුගේ මිදි වත්ත ගැන මම ගී ගයමි. මා පෙම්වතාට මිදි වත්තක් සරුසාරවත් කඳු බෑවුමක තිබිණි.</verse>
				<verse number="2">ඔහු බිම හාරා ගල් ඉවත්කර, ඉතා හොඳ මිදි වැල් පැළකර, ඒ මැද මුරකොටුවක් ගොඩ නඟා, මිදියුසට තටාකයක් සාදා, හොඳ මිදි පල ලබන්න බලා සිටියේ ය. අහෝ! එහෙත්, එහි හටගත්තේ වල් මිදි පමණකි.</verse>
				<verse number="3">ඒ නිසා මාගේ පෙම්වතා මෙසේ කියයි; “ජෙරුසලමේ හා ජුදාවේ වැසියෙනි, මා හා මාගේ මිදි වත්ත අතරේ විනිශ්චය කරන්න.</verse>
				<verse number="4">මාගේ මිදි වත්ත උදෙසා මා කළ දේට අමතර ව තවත් කිසිවක් කරන්නට තිබුණේ ද? එසේ නම්, හොඳ මිදි පල මා බලාපොරොත්තු වන නමුත්, එහි වල් මිදි පල හට ගන්නේ මන් ද?</verse>
				<verse number="5">මෙන්න, මාගේ මිදි වත්තට කරන්න යන දේ මම නුඹලාට කියමි. මම එහි වටේට ඇති වැට ඉවත්කර, ආරක්ෂා පිණිස ඇති තාප්පය බිඳදමා, වන මෘගයන්ට මිදි වත්ත පාගා කා දමන්න ඉඩ හරින්නෙමි.</verse>
				<verse number="6">එය පාළු වන්න හරින්නෙමි. මා එහි අතු පාහින්නේ වත්, පස් බුරුල් කරන්නේ වත් නැත. එහි කටු ගස් හා ගොකටු හටගන්න හැරදමන්නෙමි. එහි වැසි නොවසින පිණිස වලාකුළුවලට මම අණ කරන්නෙමි.”</verse>
				<verse number="7">සව් බලැති සමිඳුන්ගේ මිදි වත්ත නම්, ඉශ්රායෙල් වංශය ය. එතුමාණන් ප්‍රිය කළ මිදි වැල් නම්, ජුදාහි සෙනඟ ය. ඔවුන් යුක්තිය ඉටු කරනු ඇතැ යි එතුමන් බලා සිටි නමුත්, ඔවුන් කෙළේ මිනී මැරීම ය; ඔවුන් දැහැමිකම් කරනු ඇතැ යි එතුමන් බලා සිටි නමුත්, ඇති වූයේ විලාප නැඟීම ය.</verse>
				<verse number="8">තමන් පමණක් දේශයේ වාසය කරන පිණිස, අනුන්ට ඉඩකඩ නැති වන තරමට ගෙයකට ගෙයක් එකතු කරගන්න, කෙතකට කෙතක් යා කරගන්න අයට වන විපතක මහත!</verse>
				<verse number="9">සව් බලැති සමිඳුන් මෙසේ වදාරනු මා අසා ඇත. “මේ විශාල අලංකාර ගෙවල් සියල්ල පාළු නටබුන් වන්නේ ය.</verse>
				<verse number="10">හෙක්ටාර් දහයක මිදි වත්තකින් ලැබෙන්නේ මිදියුස ලීටර් අටක් පමණකි. බිත්තර වී ලීටර් එකසිය අසූවකින් ලැබෙන්නේ ධාන්‍ය ලීටර් දහඅටකි.”</verse>
				<verse number="11">මත්පැන් බීමට පාන්දරින් ම නැඟිටින, වෙරිමත්කමින් රෑ වන තුරු පමා වන ඔබට වන විපතක මහත!</verse>
				<verse number="12">ඔබේ උත්සවවල වීණා ද කුඩා වීණා ද රබන් ද නළා ද මත්පැන් ද ඇත; එහෙත්, සමිඳුන් කරන දේ ඔබ ගණන් ගන්නේ නැත; එතුමන්ගේ ක්‍රියා ගැන කල්පනා කරන්නේ වත් නැත.</verse>
				<verse number="13">ඔබ අනුවණයන් වන නිසා සිරකරුවන් මෙන් ගෙනයනු ලබන්නහු ය. ඔබේ නායකයෝ බඩගින්නේ මැරෙති; පොදු ජනයා පිපාසයෙන් පෙළෙති.</verse>
				<verse number="14">පාතාල ලෝකය ඔවුන් ගිලින්න කට අයාගෙන සිටියි. එය ජෙරුසලමේ ප්‍රභූවරුන් ද කෑ කෝ ගසන කලබලකාරී පොදු සමූහයා ද ගිලගනියි.</verse>
				<verse number="15">මෙසේ සියලු දෙන නින්දාවට පමුණුවනු ලබති; උඩඟු සියලු දෙන පහත් කරනු ලබති.</verse>
				<verse number="16">එහෙත්, සව් බලැති සමිඳාණෝ යුක්තිය ඉටු කරමින් තමන්ගේ ශ්‍රේෂ්ඨකම ද විනිශ්චයයේ සාධාරණත්වයෙන් තමන්ගේ ශුද්ධවන්තකම ද එළිදරව් කරන සේක.</verse>
				<verse number="17">නගරවල නටබුන් අතරේ බැටළු පැටව් තණ කන්නෝ ය; එළු පැටව් ද ගොදුරු සොයන්නෝ ය.</verse>
				<verse number="18">වංචාවේ රැහැනින් වෙළී, අපරාධයට වැටෙමින්, පාප දිවියට පා තබන ඔබට වන විපතක මහත!</verse>
				<verse number="19">එය සිදු වූ විට, සමිඳාණෝ, “තමන් වහන්සේ කරන සේකැ”යි කියන දේ ඉක්මනින් කරන සේක් වා! එවිට එය අපට බැලිය හැකි ය. ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණෝ තමන්ගේ අදහස් ඉටු කරන සේක් වා! “එය සිදු වූ විට, එතුමන්ගේ අදහස් කවරේ ද කියා අපි දැනගනිමු”යි ඔබ කියන්නහු ය.</verse>
				<verse number="20">නපුරට යහපත කියා ද යහපතට නපුර කියා ද කියන, එළිය අඳුරු බවටත් අඳුර එළිය බවටත් හරවන මිහිර තිත්ත බවටත් තිත්ත මිහිර බවටත් හරවන ඔබට වන විපතක මහත!</verse>
				<verse number="21">‘අපි ඥානවන්තයෝ ය’යි සිතාගෙන ‘අපි නුවණැත්තෝ ය’යි කල්පනා කරන ඔබට වන විපතක මහත!</verse>
				<verse number="22">සුරාපානයට ශූර වූ, සුරා මිශ්‍ර කිරීමට සමත් වූ,</verse>
				<verse number="23">අල්ලස් ගෙන දුෂ්ටයා නිදොස් කර, ධර්මිෂ්ඨයන්ගේ අයිතිවාසිකම් පැහැරගත් ඔබට වන විපතක මහත!</verse>
				<verse number="24">ශුද්ධ දෙවිඳුන්ගේ වචනය හෙළා දුටු නිසාත්, සව් බලැති සමිඳුන්ගේ අණපණත් ප්‍රතික්ෂේප කළ නිසාත්, ගිනි දැල්ලට ඉපනැලි හා පිදුරු දැවී යන්නාක් මෙන් ඔබට සමාන ඒ ගස්වල මුල් දිරාපත් වී, මල් වියළී පහ වී යන්නේ ය.</verse>
				<verse number="25">සමිඳුන්ගේ උදහස සෙනඟට විරුද්ධ ව ඇවිළී ඇත. ඔවුන්ට දඬුවම් කිරීමට එතුමාණෝ අත ඔසවා ඔවුන්ට පහර දුන් සේක. එවිට කඳු කම්පා වනු ඇත; මැරෙන අයගේ මළකඳන් කුණු කසළ මෙන් වීථිවල දමා තිබෙනු ඇත. මේ සියල්ල සිදු වුවත් සමිඳුන්ගේ උදහස නිවී නැත. ඔවුන්ට දඬුවම් කරන පිණිස එතුමන් ඔසවාගත් තම හස්තය එසේ ම තිබෙනු ඇත.</verse>
				<verse number="26">සමිඳාණෝ දුර සිටින ජාතීන් පොළොවේ සීමාන්තයේ සිට පැමිණෙන පිණිස සංඥාවකින් කැඳවන සේක. ඔව්හු ඉක්මනින්, වේගයෙන් පැමිණෙන්නෝ ය.</verse>
				<verse number="27">ඔවුන්ගෙන් කිසිවෙකු විඩාවට පත් වන්නේ වත්, පැකිළෙන්නේ වත් නැත; නිදි කිරා වැටෙන්නේ වත්, නිදාගන්නේ වත් නැත; ඔවුන්ගේ ඉඟපටි බුරුල්වන්නේ වත්, පා වහන්වල පටි කැඩෙන්නේ වත් නැත.</verse>
				<verse number="28">ඔවුන්ගේ ඊතල තියුණු කර තිබේ; දුනු සියල්ල තැත් කවා තිබේ. ඔවුන්ගේ අශ්වයන්ගේ කුර ගිනිගල් මෙන් ශක්තිමත් ය; රථවල රෝද සුළි සුළඟ මෙන් වේගවත් ව කැරකෙයි.</verse>
				<verse number="29">ඔවුන්ගේ හේවායෝ ගොදුර අල්ලා සුරැකි ව ගෙන යන සිංහයන් මෙන් ගර්ජනා කරන්නෝ ය. ඔවුන්ගෙන් ඒවා ගළවාගන්න හැකි කිසිවෙක් නොමැත.</verse>
				<verse number="30">ඒ දවස පැමිණි විට ඔව්හු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව, මුහුද ගිගුරුම් දෙන්නාක් මෙන් ගිගුරුම් දෙන්නෝ ය. දේශය දෙස බැලූ විට දක්නට ලැබෙන්නේ අන්ධකාරය හා විපත්තිය ය. වලාකුළුවලින් එළිය අඳුරු වී ඇත.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">උශ්ශියා රජු මරණයට පත් වූ අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේ උස් වූ උදාර වූ සිංහාසනයක් මත වැඩ හිඳිනු මම දිටිමි. උන් වහන්සේගේ සළුවෙන් දේව මාලිගාව පිරී තිබුණේ ය.</verse>
				<verse number="2">සෙරාප්වරු උන් වහන්සේ සිසාරා සිටියෝ ය, එක් එක් කෙනාට පියාපත් සය බැගින් තිබුණේ ය; දෙකකින් මුහුණු වසා ගත්තෝ ය, දෙකකින් ඇඟ වසා ගත්තෝ ය; දෙකකින් පියාසර කළෝ ය.</verse>
				<verse number="3">එක් කෙනෙක් අනිකෙකුට හඬගසමින් මෙසේ කී ය: “සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය. සව් බලැති සමිඳාණන් වහන්සේ සුවිශුද්ධ ය. උන් වහන්සේගේ තේජසින් මුළු ලොව පිරී ගියේ ය.”</verse>
				<verse number="4">ඔවුන්ගේ මොරගැසීමේ හඬට දේව මාලිගාවේ අත්තිවාරම සෙලවුණේ ය; දේව මාලිගාව ද දුමෙන් පිරුණේ ය.</verse>
				<verse number="5">එවිට මම මෙසේ කීමි: “අහෝ! මා වැනි කාලකණ්ණියෙක්; මට කිසි බලාපොරොත්තුවක් නැත. මන්ද, අපවිත්‍ර තොල් ඇති මිනිසෙකු වන, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ ජීවත් වන, මම සියලු බලැති ස්වාමීන් වන රජාණන් වහන්සේ මාගේ දෑසින් ම දිටිමි.”</verse>
				<verse number="6">එවිට සෙරාප්වරුන්ගෙන් එක් කෙනෙක් අඬුවකින් පූජාසනය මත්තෙන් ගත් ගිනි අඟුරක් රැගෙන මා ළඟට පියාසර කර අවුත්,</verse>
				<verse number="7">එය මාගේ මුඛයෙහි තවරා, “මෙය නුඹේ තොල්වල තැවරුණේ ය; මෙසේ නුඹේ අපරාධය පහ කරන ලද්දේ ය; නුඹේ පාපය කමා කරන ලද්දේ ය”යි කී ය.</verse>
				<verse number="8">එවිට, “මම කවරෙකු යවම් ද? අප වෙනුවෙන් යන්නේ කවරෙක් දැ”යි කියන සමිඳාණන් වහන්සේගේ හඬ මට ඇසුණේ ය. මම ද, “මෙන්න, මම මෙහි ය, මා යැව්ව මැනවැ”යි කීමි.</verse>
				<verse number="9">උන් වහන්සේ මට යන්න කියා සෙනඟට මේ පණිවුඩය දෙන්න යයි මට වදාළ සේක: “නුඹලා කොතෙක් සවන් දුන්නත් තේරුම් නොගන්නහු ය; කොතෙක් දුටුවත් වටහා නොගන්නහු ය.</verse>
				<verse number="10">මේ සෙනඟගේ සිත් අඳුරු වනු ඇත; කන් බිහිරි වනු ඇත, ඇස් අන්ධ වනු ඇත. ඒ නිසා ඔවුන්ට සුවය නොලැබෙන ලෙස ඔවුන්ගේ ඇස්වලින් ඔවුන්ට නොපෙනේ; කන්වලින් ඔවුන්ට නො ඇසේ; සිත්වලින් ඔවුන්ට නොවැටහේ.”</verse>
				<verse number="11">එවිට මම, “සමිඳුනි, මෙසේ වන්නේ කොපමණ කලකට දැ”යි ඇසීමි. එතුමාණෝ මෙසේ පිළිතුරු දුන් සේක: “වැසියෙකු නැති ව නගර ද මිනිසෙකු නැති ව ගෙවල් ද පාළු වන තුරුත්, දේශය සහමුලින් ම ජනශූන්‍ය වන තුරුත් ය.</verse>
				<verse number="12">මම ජනයා ඈතට පහකර දමා මුළු දේශය පාළු කරන්නෙමි.</verse>
				<verse number="13">දේශයේ දසදෙනෙකුගෙන් එක් කෙනෙකු වත් ඉතිරි වූවොත් ඔහු ද විනාශ කරනු ලැබේ. ඔහු සිඳ දමනු ලැබූ ආලෝන ගසක ඉතිරි වන කොටස හා සමාන වේ.” මේ කොටසෙන් ඉශ්රායෙල් සෙනඟගේ නවෝදය නිරූපණය කෙරේ.</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">උශ්ශියාගේ මුණුබුරා වූ ද ජෝතාම්ගේ පුත්‍රයා වූ ද ආහාස් ජුදාහි රජකම් කරන කාලයේ දී යුද්ධයක් හටගත්තේ ය. සිරියාවේ රජ වූ රෙශීන් ද රෙමලියාගේ පුත්‍ර වූ ඉශ්රායෙල්හි රජ වූ පෙකා ද ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කළ නමුත් ජයගන්න නොහැකි විය.</verse>
				<verse number="2">සිරියාවේ හමුදා ඉශ්රායෙල් දේශයට පිවිස සිටින බව ජුදාවේ රජුට දන්වන ලදී. එවිට රජ ද සෙනඟ ද සුළඟට සැලෙන ගස් මෙන් චංචල වූ හ.</verse>
				<verse number="3">එකල සමිඳාණන් වහන්සේ යෙසායාට මෙසේ වදාළ සේක: “නුඹේ පුත්‍ර ෂෙයාර්-යාෂුබ් සමඟ ආහාස් රජු හමු වන්න යන්න. ඉහළ පොකුණෙන් වතුර ගෙනෙන කාණුවේ කෙළවර ඇති අපුල්ලන්නන්ගේ පිටියේ පිහිටි මාවතේ දී ඔහු නුඹට හමුවනු ඇත.</verse>
				<verse number="4">පරීක්ෂාකාරී ව, සන්සුන් ව, නිර්භය ව, නොකැළඹී සිටින්න ඔහුට කියන්න. රෙශීන් සහ සිරියන්වරුන්ගේත්, රෙමලියාගේ පුත්‍රයාගේත් කෝපාග්නිය දුම් නඟින ගිනිපෙනෙලි දෙකක් වැනි ය. එහි භය වන්න කිසි දෙයක් නැත.</verse>
				<verse number="5">සිරියන්වරුන් ඉශ්රායෙල් හා එහි රජු සමඟ ඔබට විරුද්ධ ව කුමන්ත්‍රණය කර ඇත.</verse>
				<verse number="6">ඔව්හු ජුදාට විරුද්ධ ව ආක්‍රමණය කොට, සෙනඟ බියගන්වා ඔවුන්ගේ පක්ෂයට බඳවාගෙන, ටාබෙයෙල්ගේ පුත්‍රයා රජකමට පත් කරන්න අදහස් කරති.</verse>
				<verse number="7">එහෙත්, එය කිසි කලෙක සිදු නොවන බව ස්වාමීන් වන මම කියමි.</verse>
				<verse number="8">මන්ද, සිරියාව දමස්කයට වඩා බලවත් නොවේ; දමස්කය රෙශීන් රජුට වඩා බලවත් නොවේ. ඉශ්රායෙල් සම්බන්ධයෙන් කිව යුත්තේ, හැටපස් වසරකින් ජාතියක් වශයෙන් එයට පවතින්නට නොහැකි වන ලෙස සුණු විසුණු කරනු ලබන බව ය.</verse>
				<verse number="9">ඉශ්රායෙල් සමාරිය නම් නගරයට වඩා බලවත් නොවේ; සමාරිය පෙකා රජුට වඩා බලවත් නොවේ. නුඹේ විශ්වාසය ස්ථිර නොවේ නම්, නුඹේ පැවැත්ම ස්ථිර වන්නේ නැත.”</verse>
				<verse number="10">සමිඳාණන් වහන්සේ ආහාස්ට තවත් පණිවුඩයක් යවමින්,</verse>
				<verse number="11">“නුඹට ලකුණක් දෙන ලෙස නුඹේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් ඉල්ලන්න; ගැඹුරු පාතාලයෙන් හෝ ඉහළ අහසෙන් හෝ එය පැමිණෙන ලෙස ඉල්ලන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="12">එහෙත්, ආහාස් උත්තර දෙමින්, “මම නොඉල්ලමි; සමිඳාණන් වහන්සේ පරීක්ෂා නොකරමි”යි කී ය.</verse>
				<verse number="13">එයට යෙසායා මෙසේ පිළිතුරු දුන්නේ ය: “එම්බා දාවිත්ගේ වංශය, දැන් සවන් දෙන්න; නුඹලා මාගේ දෙවියන් වහන්සේගේ ඉවසීම වෙහෙසන්නේ, නුඹලා මනුෂ්‍යයන්ගේ ඉවසීම වෙහෙසනවා මදිවාට ද?</verse>
				<verse number="14">සමිඳාණන් වහන්සේ ම නුඹලාට ලකුණක් දෙන සේක. බලන්න, කන්‍යාවක් පිළිසිඳගෙන පුත්‍රයෙකු බිහි කරන්නී ය; එම්මානුවෙල් යන නම ඔහුට තබන්නී ය.</verse>
				<verse number="15">නපුර එපාකර යහපත තෝරාගැනීමට තරම් ඔහුට තේරුම් පැහැදුම් ඇති වූ කල ඔහු දීකිරිත් මී පැණිත් වළඳන්නේ ය.</verse>
				<verse number="16">ඒ කාලය පැමිණෙන්න පෙර නුඹව තැති ගන්වන ඒ රජවරුන් දෙදෙනාගේ දේශයෝ පාළු වන්නෝ ය.</verse>
				<verse number="17">“ඉශ්රායෙල් රාජ්‍යය ජුදාවෙන් වෙන් වූ කාලයේ පටන් නුවූ විරූ අන්දමේ දුක් කරදර සමිඳාණන් වහන්සේ නුඹ පිටත්, නුඹේ සෙනඟ පිටත්, මුළු රජ පවුල පිටත් පමුණුවන සේක. උන් වහන්සේ අසිරියාවේ රජු නුඹට විරුද්ධ ව එවන සේක.”</verse>
				<verse number="18">“ඒ කාලය පැමිණි විට සමිඳාණන් වහන්සේ නයිල් ගඟ අසබඩ සිටින මිසර වාසීන්ට මැස්සන් සේ පැමිණීමටත්, අසිරියන්වරුන්ට තමන්ගේ දේශයෙන් මීමැස්සන් සේ පැමිණීමටත් සංඥාකර හඬගසනවා ඇත.</verse>
				<verse number="19">ඔව්හු සියල්ලෝ ම අවුත්, පාළු මිටියාවත්වල ද පර්වත විවරවල ද සියලු කටු ගස්වල ද සෑම තණ බිම්වල ද රැඳෙන්නෝ ය.</verse>
				<verse number="20">“ඒ කාලය පැමිණි විට සමිඳාණන් වහන්සේ විසින් යුප්‍රටීස් ගඟට එගොඩින් කරණවෑමියෙකු එනම්, අසිරියාවේ රජු කුලියට ගෙන්වා ගෙන, ඔහු ලවා නුඹේ හිසේ ද සිරුරේ ද කේශ හා රැවුල් බූගාවනු ලබන්නේ ය.</verse>
				<verse number="21">“ඒ කාලය පැමිණි විට ගොවියෙක් එළ නෑම්බියකුත්, බැටළුවන් දෙදෙනෙකුත් පමණක් තබාගෙන</verse>
				<verse number="22">උන් දෙන කිරි බොහෝ නිසා දීකිරි කන්නේ ය. දේශයේ ඉතිරි ව සිටින සියල්ලෝ ද දීකිරි සහ මී පැණි කන්නෝ ය.</verse>
				<verse number="23">“ඒ කාලය පැමිණි විට රිදී මිළ දහසක් වටින මිදි වැල් දහසක් ඇති සෑම මිදි වතුවල කටු ගස් ද ගොකටු ද හටගැනෙනු ඇත.</verse>
				<verse number="24">ඊගස් හා දුනු ඇති ව මිස එහි යන්නට කිසිවෙකුට ධෛර්යය ඇති නොවේ. මන්ද, දේශය මුළුල්ලේ කටු ගස් ද ගොකටු ද ඇති වන්නේ ය.</verse>
				<verse number="25">කලින් වගා කරන ලද කඳු වුවත් කටු ගස් සහ ඉබාගාතේ යන ගොකටුවලින් වැසී යන්නේ ය. ඒවාට බිය නිසා කිසිවෙක් එහි නොයති. එය ඉබාගාතේ යන ගවයන් හා බැටළුවන් ගොදුරු කන ස්ථානයක් වන්නේ ය.”</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක; “නුඹ මහත් පුවරුවක් ගෙන එහි ලොකු අකුරෙන් ‘කොල්ලය ශීඝ්‍රයෙන් සිදුවේ’ යන අරුත ඇති ‘මහෙර්-ෂාලාල්-හාෂ්-බශ්’ යන වචන ලියන්න.</verse>
				<verse number="2">විශ්වාසවන්ත සාක්ෂිකාරයන් වන උරියා නමැති පූජකයාත් ජෙබෙරෙකියාගේ පුත්‍ර වූ සෙකරියාත් සාක්ෂි පිණිස ගන්න.”</verse>
				<verse number="3">ටික දිනකට පසු මම මාගේ භාර්යාව සමඟ සහවාසයේ යෙදුණෙමි. ඈ පිළිසිඳගෙන දරුවෙකු බිහි කළා ය. සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “ඔහුට, ‘මහෙර්-ෂාලාල්-හාෂ්-බශ්’ කියා නම් තබන්න.</verse>
				<verse number="4">මන්ද, ‘අම්මේ, තාත්තේ’ කියා කියන්න දරුවාට හැකි වන්න පෙර දමස්කයේ සකල වස්තුවත්, සමාරියේ මුළු කොල්ලයත් අසිරියාවේ රජු විසින් ගෙනයනු ලබන්නේ ය.”</verse>
				<verse number="5">සමිඳාණන් වහන්සේ යළිත් මට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="6">“මේ සෙනඟ හෙමින් ගලා බැස යන ෂිලොවාහි දිය ඇල එපා කොට, රෙශීන් ද පෙකා රජු ද ඉදිරියේ වෙවුළන බැවින්,</verse>
				<verse number="7">ස්වාමීන් වන මම අසිරියාවේ රජු ද ඔහුගේ මුළු සේනාව ද ජුදා රටට පහර දෙන පිණිස ගෙනෙන්නෙමි. යුප්‍රටීස් ගඟේ ඉවුරු තලා යන ජලගැලීම සේ ඔවුන් ඉදිරියට එනු ඇත.</verse>
				<verse number="8">ඔව්හු ගෙල දක්වා ඉහළට නැඟ සෑම තැනම පැතිරී යන ජල ගැල්මක් සේ ජුදා පුරා පැතිරී යන්නෝ ය.” දෙවියන් වහන්සේ අප සමඟ ය. විහිදී ඇති පියාපත්වලින් උන් වහන්සේ රට ආරක්ෂා කරන සේක.</verse>
				<verse number="9">ජාතීනි, බියෙන් ඇලළී යන්න; පොළොවේ දුර බැහැර ප්‍රදේශවල ජනයෙනි, සවන් දෙන්න; සටනට සැරසෙන්න; එහෙත්, භයපත් වන්න. එසේ ය, සැරසෙන්න. එහෙත්, භයපත් වන්න.</verse>
				<verse number="10">එක් ව මන්ත්‍රණය කරන්න; එහෙත්, ඒවා නිෂ්ඵල වන්නේ ය. ඇති තරම් කතා කරන්න. එහෙත්, ඒවා නිෂ්ඵල වන්නේ ය. මන්ද, දෙවියන් වහන්සේ අප සමඟ ය.</verse>
				<verse number="11">සෙනඟ යන මාර්ගයෙහි නොයන ලෙස සමිඳාණන් වහන්සේ තමන් මහත් බලයෙන් මට දැනුමැතිකම් දෙමින් මෙසේ වදාළ සේක:</verse>
				<verse number="12">“සෙනඟ කුමන්ත්‍රණය යි කියන සියල්ලට නුඹ කුමන්ත්‍රණය යි නොකියන්න. ඔවුන් භය වන දේට භය නොවන්න.</verse>
				<verse number="13">සියලු බලැති සමිඳාණන් වහන්සේ වන මා ශුද්ධ තැනැන් වහන්සේ බව මතක තබාගන්න. නුඹ භය විය යුත්තේ මට පමණකි.</verse>
				<verse number="14">මම ශුද්ධස්ථානයකට ද මිනිසුන්ගේ පැකිළීමට හේතු වන ගලකට ද සමාන වෙමි; ජුදා හා ඉශ්රායෙල් රාජ්‍යවල සෙනඟ ද ජෙරුසලමේ වැසියන් ද අසු කරගන්න මලපතක් හා සමාන වෙමි.</verse>
				<verse number="15">බොහෝ දෙනෙක් පැකිළී වැටෙති. ඔව්හු වැටී පොඩි වී යති. ඔවුන් මලපතට අසු වනු ඇත.”</verse>
				<verse number="16">මාගේ ගෝලයන් දෙවියන් වහන්සේ මට දුන් පණිවුඩය ආරක්ෂා කොට සිතේ තැන්පත් කරගත යුතු ය.</verse>
				<verse number="17">සමිඳාණන් වහන්සේ සිය සෙනඟ වෙතින් සැඟවී සිටින නමුත්, මම උන් වහන්සේ අදහා මාගේ බලාපොරොත්තුව උන් වහන්සේ කෙරෙහි තබමි.</verse>
				<verse number="18">සමිඳාණන් වහන්සේ මට දුන් දරුවන් සමඟ මම මෙහි සිටිමි. සියොන් කන්දේ සිය සිහසුන ඇති සියලු බලැති සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා හට ජීවමාන පණිවුඩ ලෙස අප එවා ඇත.</verse>
				<verse number="19">පල්හෑලි දොඩන, තොල් මතුරන අනවිනකාරයන්ගෙන් ද දෛවඥායන්ගෙන් ද ශාස්ත්‍ර අසන්න කියා සෙනඟ නුඹලාට කියනු ඇත. “ජීවතුන් උදෙසා මළවුන්ගෙන් ද දෙවි දේවතාවන්ගෙන් ද විචාරන්න යුතු ය”යි ඔවුන් කියනු ඇත.</verse>
				<verse number="20">එහෙත්, නුඹලා මෙසේ පිළිතුරු දිය යුතු ය: “සමිඳාණන් වහන්සේ නුඹලාට උගන්වන දේට සවන් දෙන්න, අනවිනකාරයන්ට සවන් නොදෙන්න. ඔවුන් නුඹලාට කියන දෙයින් කිසි යහපතක් සිදු නොවේ.”</verse>
				<verse number="21">සෙනඟ අමාරුවට වැටී සාගින්න නිසා රටෙහි ඔබමොබ ඉබාගාතේ යනු ඇත. ඔව්හු සාගින්නෙන් හා කෝපයෙන් තමන්ගේ රජුට හා තමන්ගේ දෙවියන්ට දෙස් කියති. ඔව්හු අහස දෙස බැලුවත්,</verse>
				<verse number="22">පොළොව දෙස බැලුවත් විපත හා අන්ධකාරය මිස වෙන කිසිවක් නොදකිති. ඒ භයානක අන්ධකාරයට ඔව්හු පන්නා දමනු ලබන්නෝ ය. මේ කරදර සහිත කාලයෙන් බේරෙන්නට මඟක් ඔවුන්ට කිසිසේත් ඇති නොවේ.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">එක් කාලයක දී සාබුලොන් රට ද නප්තලී රට ද අපකීර්තියට පත් වූ නමුත්, අනාගතයේ දී, මධ්‍යධරණි මුහුදේ සිට නැගෙනහිර දෙසට ජොර්දාන් ගඟෙන් එගොඩ පිහිටි පළාතට එනම්, විදේශීන් වාසය කරන ගලීලය දේශයට ගෞරව පැමිණෙන්නේ ය.</verse>
				<verse number="2">අන්ධකාරයෙහි ඇවිද්ද සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝ ය, ගන’ඳුරු දේශයෙහි විසූ අය කෙරෙහි එළියක් දැන් බැබළෙන්නේ ය.</verse>
				<verse number="3">ඉමහත් ප්‍රීතියක් ඔබ ඔවුන්ට දුන් සේක; ඔවුන්ගේ ප්‍රීති ප්‍රමෝදය වර්ධනය කළ සේක. අස්වැන්න කපන කාලයෙහි සෙනඟ, කොල්ලය බෙදා ගන්නා කල ප්‍රීති වන්නාක් මෙන් ඔබ ඉදිරියෙහි ඔව්හු ප්‍රීති ප්‍රමෝද වෙති.</verse>
				<verse number="4">මන්ද යත්, ඔවුන්ට බරක් වූ වියගහ ද කර මත තැබූ වියදණ්ඩ ද ඔබ කඩාදැමූ සේක. පෙර කලක ඔබ මිදියන් හමුදා පරාජය කළාක් මෙන් ඔවුන්ට පීඩා කළ ජාතිය ඔබ විසින් පරාජය කරනු ලැබී ය.</verse>
				<verse number="5">ආක්‍රමණය කරන හමුදාවේ පාවහන් ද ලෙයින් තැවරුණු ඔවුන්ගේ ඇඳුම් සියල්ල ද ගින්නෙන් දවාලනු ලැබේ.</verse>
				<verse number="6">අපට ළදරුවෙක් උපන්නේ ය; අපට පුත්‍රයෙක් දෙන ලද්දේ ය; එතුමාණෝ අපේ රජු වන සේක. ‘එතුමාණෝ, අසිරිමත් උපදේශකයාණෝ ය; ප්‍රතාපවත් දෙව් තුමාණෝ ය; සදාතන පියාණෝ ය; සාමයේ කුමාරයාණෝ ය’යි කියනු ලබන සේක.</verse>
				<verse number="7">එතුමන්ගේ රාජ බලය වැඩි වර්ධනය වන්නේ ය; එම රාජ්‍යයේ සාමයට කෙළවරක් නොවන්නේ ය; මෙතැන් සිට සදහට ම දාවිත් රජුගේ සිහසුනේ වැඩ හිඳින එතුමන්ගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවන ලෙස එතුමාණෝ යුක්තියෙන් ද ධර්මිෂ්ඨකමින් ද රජකම් කරන සේක. සව් බලැති සමිඳුන්ගේ උද්‍යෝගයෙන් මෙය අධිෂ්ඨාන කළ සේක.”</verse>
				<verse number="8">සමිඳුන් ඉශ්රායෙල් රාජ්‍යයේ ජාකොබ් වංශය කෙරෙහි විනිශ්චය ප්‍රකාශ කර ඇත.</verse>
				<verse number="9">සමිඳුන් මෙසේ කර ඇති බව ඉශ්රායෙල්හි සකල ජනයා ද සමාරියේ සිටින සියලු දෙනා ද දැන ගන්නෝ ය. ඔව්හු එඩිතරකමෙන් ද අහංකාරයෙන් ද මෙසේ කියති:</verse>
				<verse number="10">“ගඩොල්වලින් තැනූ ගොඩනැඟිලි ගරාවැටී ඇතත්, ඒ වෙනුවට කැපූ ගලින් අපි ගොඩනැඟිලි තනන්නෙමු. අත්තික්කා ලී බාල්ක කපාදමා ඇතත්, ඒ වෙනුවට අපි ඉස්තරම් කිහිරි ලී බාල්ක යොදන්නෙමු.”</verse>
				<verse number="11">සමිඳුන් රෙශීන්ගේ සතුරන් ඔවුන්ට පහර දෙන පිණිස පොළඹවා ඇත.</verse>
				<verse number="12">නැගෙනහිරෙන් සිරියාව ද බටහිරෙන් පලස්තීනය ද ඉශ්රායෙල් ගිලගන්න කට අයාගෙන සිටියි. එසේ වුවත්, සමිඳුන්ගේ උදහස සන්සිඳී නැත. ඔවුන්ට දඬුවම් කරන්න එතුමන් හස්තය තවම දිගු කර ඇත.</verse>
				<verse number="13">ඉශ්රායෙල් සෙනඟ ඔවුන්ට දඬුවම් කළ සමිඳුන් වෙත හැරී නැත. ඔවුන් සව් බලැති සමිඳුන් සෙව්වේ නැත.</verse>
				<verse number="14">එබැවින් එක දවසක දී සමිඳාණෝ ඉශ්රායෙල්හි ඔලීව අතු වැනි නායකයන්ට ද බට ගස් වැනි සෙනඟට ද පහර දී එහි හිසත් වල්ගයත් ගසාදමන සේක.</verse>
				<verse number="15">හිස යන්නෙන් අදහස් කරන්නේ වයස්ගත ගරුකටයුතු අය ය; වල්ගය යන්නෙන් අදහස් කරන්නේ මුසාවාදී දිවැසිවරු ය.</verse>
				<verse number="16">සෙනඟට මඟපෙන්වන්නන් ඔවුන් නොමඟ යවා වියවුල් කර ඇත.</verse>
				<verse number="17">එබැවින් සමිඳාණෝ තරුණයන් කිසිවෙකුට ගැළවී යන්න ඉඩ නොදෙන සේක; වැන්දඹුවන්ටත්, අනාථයන්ටත් අනුකම්පා නොකරන සේක. මන්ද, ඔව්හු සියල්ලෝ අභක්තිකයෝ ද නපුර කරන්නෝ ද වෙති. ඔවුන් කියන සියලු දේ බොරු ය. මේ සියල්ල සිදු වුවත් සමිඳුන්ගේ උදහස සන්සිඳී නැත. ඔවුන්ට දඬුවම් කරන පිණිස එතුමන්ගේ හස්තය තවමත් දිගු කර ඇත.</verse>
				<verse number="18">සෙනඟගේ දුෂ්ටකම කටු පඳුරු හා ගොකටු දවාලන ගින්නක් වැනි ය; දුම් කඳ ඉහළට නංවන ලැව් ගින්නක් වැනි ය.</verse>
				<verse number="19">සව් බලැති සමිඳුන්ගේ උදහසින් දේශය දැවී යන්නේ ය; සෙනඟ ද ගින්දරට දර මෙන් වන්නෝ ය. කිසිවෙකු තමා හැර තම සහෝදරයා ගැන සලකන්නේ නැත.</verse>
				<verse number="20">දේශයේ සෑම තැනම සෙනඟට සොයාගත හැකි කෑම සියල්ලක්ම ඔවුන් කන නමුත්, ඒවා පැහැරගෙන කන නමුත්, ඔවුන්ගේ කුසගින්න නොනිවෙන්නේ ය. ඔවුහු තම දරුවන්ගේ මාංසය වුව ද කන්නෝ ය.</verse>
				<verse number="21">මනස්සේ රටේ සෙනඟ ද එප්‍රායිම් රටේ සෙනඟ ද එකිනෙකාට විරුද්ධ ව සටන් කරති. දෙගොල්ලෝ ම එකතු වී ජුදාවට පහර දෙති. මේ සියල්ල සිදු වුවත්, සමිඳුන්ගේ උදහස සන්සිඳී නැත. දඬුවම් කරන පිණිස එතුමන්ගේ හස්තය තව ම දිගු කර ඇත.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">මාගේ සෙනඟ පීඩනයට පමුණුවන නියමයන් නිකුත් කරන පිණිස අයුතු නීති පනවන නුඹලාට වන විපතක මහත!</verse>
				<verse number="2">එසේ කිරීමෙන් නුඹලා දුප්පතුන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් ද යුක්තිය ද ලබාගැනීමට ඉඩ නොදෙන්නහු ය. වැන්දඹුවන්ගේත්, අනාථයන්ගේත් දේපළ පැහැරගන්නහු ය.</verse>
				<verse number="3">දෙවිඳුන් නුඹලාට දඬුවම් කරන විට නුඹලා කුමක් කරන්නහු ද? දුර බැහැර රටකින් නුඹලා පිට විනාශය පැමුණුණ විට නුඹලා කුමක් කරන්නහු ද? උපකාර ලබාගන්න පිණිස කා වෙත යන්නහු ද? නුඹලාගේ වස්තුව කොතැන සඟවන්නහු ද?</verse>
				<verse number="4">නුඹලා යුද්ධයේ දී මැරුම් කන්නහු ය. නැත්නම්, සිරකරුවන් මෙන් ගෙනයනු ලබන්නහු ය. මේ සියල්ල ම සිදු වුවත් සමිඳුන්ගේ උදහස සංසිඳී නැත. දඬුවම් කරන පිණිස එතුමන්ගේ හස්තය තවමත් දිගු කර ඇත.</verse>
				<verse number="5">මාගේ උදහසට ලක් වූ ජාතියට දඬුවම් කරන පිණිස මම අසිරියාව මුගුරක් හෙවත් සැරයටියක් සේ පාවිච්චි කරමි.</verse>
				<verse number="6">මාගේ උදහස ඇවිස්සූ ජාතියට පහර දෙන පිණිස ඒ ජාතිය කොල්ලකන්නත්, එහි සම්පත් උදුරාගන්නත්, වීථිවල මඩ මෙන් පාගන්නත් මම අසිරියාව එවමි.</verse>
				<verse number="7">එහෙත්, අසිරියාවේ රජුගේ සිතේ වෙන ම සාහසික අදහසක් ඇත. බොහෝ ජාතීන් විනාශ කිරීමට ඔහු අධිෂ්ඨාන කර ඇත.</verse>
				<verse number="8">ඔහු පාරට්ටු කරගනිමින් මෙසේ කියයි: “මාගේ හැම සෙන්පතියෙක් ම රජ කෙනෙකි.</verse>
				<verse number="9">කල්නෝ හා කර්කෙමිෂ් නගර, හමාත් හා අර්පත් නගර මම ජය ගතිමි. සමාරිය හා දමස්කය මම ජය ගතිමි.</verse>
				<verse number="10">ජෙරුසලමේ හා සමාරියේ පිළිමවලට වඩා පිළිමවලින් ගහණ, පිළිම නමස්කාරයේ යෙදෙන රාජ්‍යයන්ට පහර දෙන්න මම අත දිගු කෙළෙමි.</verse>
				<verse number="11">සමාරිය හා එහි ඇති පිළිම මම විනාශ කෙළෙමි. එසේ ම ජෙරුසලම ද එහි ඇති පිළිම ද මම විනාශ කරමි.”</verse>
				<verse number="12">එහෙත්, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සියොන් කන්දෙහි හා ජෙරුසලමෙහි මා කරන දේ නිම කළ පසු අසිරියාවේ රජුගේ පාරට්ටුවත්, අහංකාරයත් නිසා මම ඔහුට දඬුවම් කරමි.”</verse>
				<verse number="13">ඔහු මෙසේ කියයි: “මා මේ සියල්ල කෙළේ, මාගේ ම බලයෙනුත්, ප්‍රඥාවෙනුත්, දක්ෂකමෙනුත් ය. මම ජාතීන් වෙන් කරන සීමා මකා හැරියෙමි. ඔවුන්ගේ සම්පත් ද පැහැරගෙන බලවතෙකු මෙන් මම ඒවායේ වැසියන් පාගාදැමීමි.</verse>
				<verse number="14">ජනයන්ගේ වස්තුව, පක්ෂි කැදැල්ලක් මෙන් මාගේ අතට අසු විය. අත්හැර දැමූ බිජු එකතු කරන්නාක් මෙන් ලොවේ ජාතීන් එකතු කරගත්තෙමි. මා බිය ගන්වන පිණිස තටු ගැසීමක් වත්, හොට ඇරීමක් වත්, කෑගැසීමක් වත් නො වී ය.”</verse>
				<verse number="15">එහෙත්, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “පොරොව පාවිච්චි කරන්නාට වඩා පොරොව උතුම් ය යි එයට කිය හැකි ද? කියත පාවිච්චි කරන්නාට වඩා කියත උතුම් ය යි එයට කිය හැකි ද? මුගුරකට හෙවත් සැරයටියකට මිනිසෙකු එසවිය නොහැකි ය. මුගුර හෙවත් සැරයටිය ඔසවන්නේ මිනිසා ය.</verse>
				<verse number="16">සව් බලැති සමිඳුන් බලසම්පන්න සෙබළුන්ට දඬුවම් කරන පිණිස රෝග එවන්න අදහස් කර ඇත. ඔවුන්ගේ සිරුර තුළ නොනිවී ඇවිලෙන ගින්නක් හටගන්නේ ය.</verse>
				<verse number="17">ඉශ්රායෙල්ගේ ආලෝකය වන දෙවිඳාණෝ ගින්නක් වන සේක. ඉශ්රායෙල්ගේ ශුද්ධ දෙවිඳාණෝ ගිනි දැල්ලක් මෙන් වී කටු ගස් ද ගොකටු ද එක දවසක දී ම විනාශ කර දමන සේක.</verse>
				<verse number="18">මාරක රෝගයක් මිනිසෙකු විනාශ කරදමන්නා සේ වන ලැහැබ ද පල බර වූ වතු ද සහමුලින් ම විනාශ කරදමනු ලබන්නේ ය.</verse>
				<verse number="19">ඉතිරි වන්නේ, ළමයෙකුට වුව ද ගණන් කළ හැකි ගස් ස්වල්පයක් පමණකි.”</verse>
				<verse number="20">ඉශ්රායෙල්හි ගැළවී ඉතිරි වූ කුඩා පිරිස තමන් විනාශ කරන්න උත්සාහ කළ ජාතිය කෙරෙහි තවත් විශ්වාසය නොතබන කාලයක් පැමිණෙන්නේ ය. ඔව්හු ඉශ්රායෙල්හි ශුද්ධ තැනැන් වහන්සේ වන සමිඳාණන් වහන්සේ කෙරෙහි තමන්ගේ විශ්වාසය සැබෑ ලෙස තබන්නෝ ය.</verse>
				<verse number="21">ඉශ්රායෙල්හි ඉතිරි කුඩා පිරිස ඔවුන්ගේ පරාක්‍රමවත් දෙවියන් වහන්සේ වෙත හැරී එනු ඇත.</verse>
				<verse number="22">දැනට ඉශ්රායෙල්හි සෙනඟ මුහුදේ වැලි මෙන් වන නමුත්, ආපසු එන්නේ ඉතිරි කුඩා පිරිසක් පමණකි. සාධාරණ විනිශ්චය ලෙස සෙනඟට විනාශය නියම වී ඇත.</verse>
				<verse number="23">සැබැවින් ම සියලු බලැති මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාළ පරිදි දේශය මුළුල්ලේ උන් වහන්සේ විනාශයක් ඇති කරන සේක.</verse>
				<verse number="24">සියොන්හි ජීවත් වන තමන් සෙනඟට සියලු බලැති මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “මිසර වැසියන් නුඹලාට පීඩා කළාක් මෙන් අසිරියන්වරුන් පොලු මුගුරුවලින් තැළුවත් ඔවුන්ට භය නොවන්න.</verse>
				<verse number="25">තව ටික කලකින් මම නුඹලාට දඬුවම් කර නිම කරමි. ඉන්පසු මාගේ උදහස අසිරියන්වරුන්ගේ විනාශයට එල්ල කරන්නෙමි.</verse>
				<verse number="26">සියලු බලැති ස්වාමීන් වන මම ඕරෙබ් පර්වතය ළඟ දී මිදියන්වරුන්ට පහර දුන්නාක් මෙන් කසයකින් අසිරියන්වරුන්ට තළන්නෙමි. මිසර වැසියන්ට මා පහර දුන්නාක් මෙන් මම අසිරියාවට ද පහර දෙමි.</verse>
				<verse number="27">ඒ කාලය පැමිණි විට අසිරියාවේ බලයෙන් මම නුඹලා නිදහස් කරන්නෙමි. නුඹලාගේ කාය බලය නිසා අසිරියාවේ වියගහ ඉන්පසු නුඹලාගේ කරට බරක් නොවන්නේ ය.”</verse>
				<verse number="28">“සතුරෝ අයාත් නගරයට පැමිණ මිග්‍රෝන් මැදින් ගියෝ ය. ඔවුහු තමන්ගේ බඩුමුට්ටු මික්මාෂ්හි තැබුවෝ ය.</verse>
				<verse number="29">ඔව්හු කඳු මාවත පසුකර, රෑ ගෙබාහි නවාතැන් ගෙන සිටිති. රාමා නගරයේ සෙනඟ කම්පා වී ඇත. සාවුල් රජුගේ නගරය වන ගිබියාවේ සෙනඟ පලා ගොස් ඇත.</verse>
				<verse number="30">ගල්ලිම් වැසියෙනි, හඬ නඟා මොරගසන්න. ලයිෂා වැසියෙනි, සවන් දෙන්න. අනාතොත් වැසියෙනි, පිළිතුරු දෙන්න.</verse>
				<verse number="31">මද්මේනාහි සෙනඟ ද ගේබිම් වැසියෝ ද පණ බේරාගන්න පිණිස පලා යන්නෝ ය.</verse>
				<verse number="32">සතුරෝ අද නොබ් නගරයට පැමිණ සිටිති. එහි සිටිමින් ඔව්හු සියොන් කන්දටත්, ජෙරුසලම් නුවරටත් විරුද්ධ ව අත් අමෝරාගෙන සිටිති.</verse>
				<verse number="33">ගස්වලින් කපාදමන අතු සේ සව් බලැති සමිඳාණෝ ඔවුන් බිඳදමන සේක. ඔවුන් අතරෙන් ඉතා අසහනකාරී අය සිඳදමනු ලබන්නෝ ය. උසස් අය පහත් කරනු ලබන්නෝ ය.</verse>
				<verse number="34">වනය මැද ඇති ගස් පොරොවකින් කපාදමනු ලබන සේ සමිඳාණෝ ඔවුන් සිඳදමන සේක. ලෙබනොන්හි අනගි ගස් ඇද වැටෙන්නා සේ ඔව්හු ඇද වැටෙති.”</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">“දාවිත්ගේ රජ පෙළපත නමැති වෘක්ෂයෙන් රාජාංකුරයක් හටගන්නේ ය. එහි මුල්වලින් අලුත් පැළයක් නැඟී එන්නේ ය.</verse>
				<verse number="2">සමිඳුන්ගේ ආත්මානුභාවය වන ප්‍රඥාව හා නුවණ ද අනුශාසනා බුද්ධිය හා බලය ද දැනගැනීම හා දේව ගරුබිය ද එතුමාණන් කෙරෙහි පිහිටන්නේ ය.</verse>
				<verse number="3">එතුමන්ට ගරුබිය පෑම එතුමාණන්ගේ ප්‍රීතිය වන්නේ ය. එතුමාණන් තමන් ඇසට පෙනෙන හැටියට විනිශ්චය කරන්නේ වත්, කනට ඇසෙන හැටියට විනිශ්චය කරන්නේ වත් නැත.</verse>
				<verse number="4">
					එතුමාණෝ යුක්ති සහගත ලෙස දුප්පතුන් විනිශ්චය කොට, යටහත් පහත් අයට තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන සේක.
					එතුමාණෝ තමන්ගේ ආඥා යෂ්ටියෙන් දේශයට පහර දෙන සේක. වචනයකින් දුෂ්ටයෝ මිය යන්නෝ ය.
				</verse>
				<verse number="5">
					යුක්තිය එතුමාණන්ගේ ඉඟපටිය ද විශ්වාසවන්තකම බඳපටිය ද වනු ඇත.
				</verse>
				<verse number="6">
					වෘකයා බැටළුවා සමඟ වාසය කරන්නේ ය;
					දිවියා එළු පැටවා සමඟ ලගින්නේ ය. සිංහ පැටියා ද වහු පැටියා ද එකට කෑම කන්නෝ ය; කුඩා දරුවෙක් උන් ගෙන යන්නේ ය.
				</verse>
				<verse number="7">එළදෙන හා වළසා එක්ව තණ කන්නෝ ය; උන්ගේ පැටව් එකට ලගින්නෝ ය. සිංහයා හරකා මෙන් පිදුරු කන්නේ ය.</verse>
				<verse number="8">කිරි දරුවා නාගයාගේ තුඹස පිට සෙල්ලම් කරන්නේ ය. සිඟිති දරුවා පොළඟාගේ ගුල පිට අත තබන්නේ ය.</verse>
				<verse number="9">
					සමිඳාණන් වහන්සේගේ ශුද්ධ කන්දේ සීමාව තුළ කිසි නපුරක් වත්, අනතුරක් වත් නොවන්නේ ය.
					මුහුද, ජලයෙන් පිරී තිබෙන්නාක් මෙන් සමිඳාණන් වහන්සේ පිළිබඳ දැනගැන්මෙන් පොළොව පිරී යන්නේ ය.”
				</verse>
				<verse number="10">දාවිත් රජුගේ වංශයෙන් උද්ගත වන රජතුමා ජාතීන් හට සංඥාවක් වන කාලය පැමිණෙන්නේ ය. ජාතීහු එතුමන් සොයා යන්නෝ ය; එතුමන්ගේ වාසභවනය මහිමයෙන් පිරී යන්නේ ය.</verse>
				<verse number="11">ඒ කාලය පැමිණි විට සමිඳාණන් වහන්සේ අසිරියාවේ ද මිසරයේ ද පත්‍රෝසේ ද එතියෝපියාවේ ද ඒලාමේ ද ෂීනාරේ ද හමාතේ ද මුහුදේ දිවයින්වල ද ඉතිරි වූ සිය පිරිස ආපසු ගෙනෙන්නට සිය බලය නැවත මෙහෙයවන සේක.</verse>
				<verse number="12">සමිඳාණෝ, විසිරී ගොස් සිටින ඉශ්රායෙල් හා ජුදා සෙනඟ පොළොවේ සතර කොනින් ආපසු එක් රැස් කරන බවට ජාතීන් ඉදිරියෙහි සංඥාවක් ඔසවන සේක.</verse>
				<verse number="13">ඉශ්රායෙල් ජුදාට ඊර්ෂ්‍යා කරන්නේ වත්, ජුදා ඉශ්රායෙල්ට සතුරුකම් කරන්නේ වත් නැත. ඉශ්රායෙල්හි ඊර්ෂ්‍යාව පහ ව යන්නේ ය. ජුදාට පීඩා කරන්නෝ විනාශ කරනු ලබන්නෝ ය.</verse>
				<verse number="14">ඔව්හු එකතු වී බටහිර වසන පිලිස්තිවරුන්ට පහර දෙන්නෝ ය; නැගෙනහිර වසන සෙනඟ කොල්ල කන්නෝ ය. ඔව්හු ඒදොම් සහ මෝවබ් ජාතීන් ජයගන්නෝ ය. අම්මොන් වැසියොත් ඔවුන්ට කීකරු වන්නෝ ය.</verse>
				<verse number="15">
					සමිඳාණෝ නයිල් ගඟේ වරාය සහමුලින් ම වියළී යන්න සලස්වන සේක.
					එතුමාණෝ යුප්‍රටීස් ගඟ හරහා සිය අත ඔසවා, වියළි සුළඟක් එවා, එය කුඩා දිය පාරවල් හතකට බෙදන සේක. එවිට සෙනඟ ගොඩබිම යන්නාක් මෙන් එයින් එගොඩ වන්නෝ ය.
				</verse>
				<verse number="16">ඉශ්රායෙල් සෙනඟට මිසරයෙන් පිට වන්න මඟ සැලසුණාක් මෙන් අසිරියාවේ ඉතිරි පිරිසටත් ඒ රටෙන් පිට වන්න මහා මාවත් ඇති වන්නේ ය.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">ඒ දවසේ දී සෙනඟ මෙසේ පැසසුම් ගී ගයන්නෝ ය: “සමිඳුනි, ඔබට මම ප්‍රශංසා කරමි. මා කෙරෙහි ඔබ උදහස් ව සිටි නමුත්, දැන් ඒ උදහස නිවී ගොස් ඇත. ඔබ මට සැනසීම දී ඇත.</verse>
				<verse number="2">
					බලන්න, දෙවිඳාණෝ මාගේ ගැළවීම ය.
					මම එතුමාණන් කෙරෙහි විශ්වාසය තබමි; එතුමන් කෙරෙහි මට බියක් නැත. මන්ද, සමිඳාණෝ මාගේ ශක්තියත්, ගීතිකාවත් ය. එතුමාණෝ මාගේ ගැළවීම ය.”
				</verse>
				<verse number="3">ඔබ ගැළවීමේ ළිංවලින් ප්‍රීතියෙන් දිය ඇදගන්නහු ය.</verse>
				<verse number="4">ඒ දවසේ දී සෙනඟ මෙසේ පැසසුම් ගී යන්නෝ ය: “සමිඳුන්ට තුති පුදන්න; එතුමන්ගේ නම පවසා අයැදින්න. එතුමන්ගේ ක්‍රියා ජාතීන් අතර පවසන්න. එතුමන්ගේ නාමයේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්න.</verse>
				<verse number="5">“සමිඳුන් කළ අරුමපුදුම දේ නිසා පසස් ගී ගයන්න; මුළු ලොවට ම ඒ ගැන දන්වන්න.</verse>
				<verse number="6">සියොන් වැසි සියල්ලෙනි, මොරගසා ගී ගයන්න; ඉශ්රායෙල් ශුද්ධ දෙවිඳාණන් උතුම් වන බැවින් ද සිය සෙනඟ අතරේ වැඩ සිටින බැවින් ද සතුටින් හඬ නඟා ගී ගයන්න.”</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">මේ වනාහි ආමොස්ගේ පුත් යෙසායාට බබිලෝනිය ගැන එළිදරව් වූ දෙවියන් වහන්සේගේ පණිවුඩය ය:</verse>
				<verse number="2">“පාළු කඳු මුදුනක කොඩියක් ඔසවන්න; රණ හොරණෑව පිඹින්න; ලකුණක් දෙන්න; ප්‍රභූවරුන්ගේ දොරටුවට පැමිණෙන ලෙස හේවායින්ට අණ දෙන්න.</verse>
				<verse number="3">සමිඳුන්ගේ උදහසට ලක් ව සිටින අයට විරුද්ධ ව සටන් කරන පිණිස එතුමන්ට කැප වූ හේවායින්ට ද බලධාරීන්ට ද පැමිණෙන ලෙස අණ කර ඇත.</verse>
				<verse number="4">“සවන් දෙන්න; කඳු මුදුනෙහි මහා ඝෝෂාවක් ඇසේ. එය වනාහි ජාතීන්ගෙනුත්, රට රාජ්‍යවලිනුත් එක් රැස් වන මහා ජනකායකගේ ඝෝෂාව ය. මම යුද්ධ සඳහා මාගේ හමුදා සූදානම් කරන්නෙමි.</verse>
				<verse number="5">පොළොවේ සීමාන්තවල ඇති දුර බැහැර රටවලින් ඔව්හු පැමිණෙති. මුළු දේශය වනසන පිණිස තමන් වහන්සේගේ උදහසේ ආයුධ වන ඔවුන් සමඟ මම පැමිණෙන්නෙමි.</verse>
				<verse number="6">
					“මොරගසා වැලපෙන්න.
					සමිඳුන්ගේ දවස එනම්, සර්වපරාක්‍රමයාණන් විනාශය පමුණුවන දවස ආසන්න ය.
				</verse>
				<verse number="7">සෑම අතක්ම බෙලහීන වනු ඇත. සෑම සිතක්ම අධෛර්ය වනු ඇත.</verse>
				<verse number="8">ඔව්හු භීතියට පත් වී ස්ත්‍රියක විඳින ප්‍රසව වේදනාව මෙන් මහා වේදනාවෙන් පෙළෙන්නෝ ය. ඔව්හු එකිනෙකා දෙස භීතියෙන් බලන්නෝ ය. ඔවුන්ගේ මුහුණු ගිනිදළු මෙන් වන්නේ ය.</verse>
				<verse number="9">දේශය පාළු කරදමා, එහි වසන පව්කාරයන් එයින් මුලිනුපුටා දමන පිණිස සමිඳුන්ගේ ඒ දවස රෞද්‍ර ව, කෝපයෙන් හා බලවත් උදහසින් එන්නේ ය.</verse>
				<verse number="10">
					අහසේ තාරකා ද ග්‍රහ මණ්ඩලය ද නො බැබළෙන්නේ ය.
					ඉර උදාවන විට ම අඳුරු වන්නේ ය. සඳ ද එළිය නොදෙන්නේ ය.
				</verse>
				<verse number="11">මම ලෝකයාට ඔවුන්ගේ නපුරුකම් නිසාත්, දුෂ්ටයන්ට ඔවුන්ගේ අයුතුකම් නිසාත් දඬුවම් කරමි. උඩඟු අයගේ අහංකාරය නවත්වා, බලහත්කාරකම් කරන්නන්ගේ ආඩම්බරය පහකරන්නෙමි.</verse>
				<verse number="12">මිනිසුන් අගනා රනටත් වඩා දුර්ලභ වන්නෝ ය. ඔව්හු ඕපීර් රනට වඩා දුර්ලභ වන්නෝ ය.</verse>
				<verse number="13">සව් බලැති සමිඳුන් වන මම, මාගේ උදහස දක්වන දවසේ දී අහස චංචල කරන්නෙමි; පොළොව ද නියම තැනින් විසි වී යන්නේ ය.</verse>
				<verse number="14">එවිට, ලුහුබඳනා ලද මුවන් මෙන් ද එඬේරෙකු නැති ව විසිරී යන බැටළුවන් මෙන් ද බබිලෝනියේ සිටින විදේශිකයෝ සිය මව් බිම කරා තම තමාගේ සෙනඟ වෙත පලා යන්නෝ ය.</verse>
				<verse number="15">හමු වන හැම කෙනෙක් ම ඇනුම් කන්නෝ ය; අසු වන හැම කෙනෙක් ම කඩුවෙන් මැරුම් කන්නෝ ය.</verse>
				<verse number="16">ඔවුන් බලා සිටිය දී ඔවුන්ගේ ළදරුවෝ බිම ගසා මරනු ලබන්නෝ ය. ඔවුන්ගේ ගෙවල් කොල්ලකනු ලබන්නේ ය. ඔවුන්ගේ භාර්යාවෝ දූෂණය කරනු ලබන්නෝ ය.</verse>
				<verse number="17">බබිලෝනියට පහර දෙන පිණිස මම මේදවරුන් පොළඹවන්නෙමි. ඔවුන් රිදී අගය කරන්නේ වත්, රනට ප්‍රිය වන්නේ වත් නැත.</verse>
				<verse number="18">ඔව්හු දුනුවලින් යෞවනයන් කැබලි කරන්නෝ ය; දරුවන්ට අනුකම්පා නොකරන්නෝ ය; ළමුන්ට කරුණාව නොදක්වන්නෝ ය.</verse>
				<verse number="19">
					මෙසේ සියලු රාජ්‍යවලට වඩා අලංකාර, ජනයාගේ ආඩම්බරයට තුඩු දෙන බබිලෝනිය මම සොදොම් හා ගොමොරා විනාශ කළාක් මෙන් විනාශ කරන්නෙමි.
				</verse>
				<verse number="20">මින් මතු කවදාවත් එහි කිසිවෙක් නොවසන්නෝ ය. කිසිම අරාබි ජාතිකයෙකු තමාගේ කූඩාරම එහි ගසන්නේ වත්, කිසිම එඬේරෙකු තමාගේ බැටළුවන් එහි ලග්ගවන්නේ වත් නැත.</verse>
				<verse number="21">
					වන මෘගයන් එහි ලගිනු ඇත;
					බකමූණන් උන්ගේ කැදලි එහි සාදනු ඇත; පැස්බරුන් එහි වසනු ඇත; වල් එළුවන් ද එහි නටනු ඇත.
				</verse>
				<verse number="22">එහි ඇති කොත්වලත්, මාලිගාවලත් නරියන් හා සිවලුන් කෑගසනු ඇත. බබිලෝනියේ විනාශයේ දවස දැන් පැමිණ ඇත. එය වැඩි කල් පවතින්නේ නැත.”</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් සෙනඟට නැවත වරක් අනුකම්පා කොට, ඔවුන් තමන්ගේ ම සෙනඟ වශයෙන් තෝරාගෙන ඔවුන්ගේ ම දේශයෙහි ඔවුන් පිහිටුවන සේක. විදේශිකයෝ එහි පැමිණ ඔවුන් සමඟ වාසය කරන්නෝ ය.</verse>
				<verse number="2">සමිඳාණන් වහන්සේ ඔවුන්ට දුන් දේශයට ආපසු පැමිණෙන පිණිස බොහෝ ජාතීන් ඉශ්රායෙල්වරුන්ට උදව් දෙනු ඇත. ඒ ජාතීන් වහලුන් වශයෙන් ඉශ්රායෙල්වරුන්ට සේවය කරනු ඇත. වරක් ඉශ්රායෙල්වරුන් යටත් කරගෙන සිටි ජාතීහු දැන් ඉශ්රායෙල්වරුන් විසින් යටත් කරනු ලබති. දැන් ඉශ්රායෙල්වරු වරක් තමන්ට පීඩා කළ ජාතීන් පාලනය කරති.</verse>
				<verse number="3">සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් සෙනඟට ඔවුන්ගේ දුක් වේදනාවලින් ද ඔවුන් පිට බලයෙන් පමුණුවන ලද බර වැඩවලින් ද නිදහස දෙන සේක.</verse>
				<verse number="4">උන් වහන්සේ එසේ කළ විට ඉශ්රායෙල් සෙනඟ බබිලෝනියේ රජුට මෙසේ සරදම් කරනු ඇත: “කුරිරු නිරිඳු වැටී ඇත; අනුන්ට පීඩා කිරීමේ ශක්තිය ඔහුට තවත් නැත.</verse>
				<verse number="5">සමිඳුන් දුෂ්ටයන්ගේ යෂ්ටියත්, නපුරු පාලකයන්ගේ බලයත් කෙළවර කර ඇත.</verse>
				<verse number="6">මන්ද, ඔව්හු යටත් කරගත් ජාතීන්ට ඉමහත් කෝපයෙන් නොනැවතී තළා පෙළා පීඩා කළෝ ය.</verse>
				<verse number="7">මුළු පොළොව නිස්කලංක ව, නිශ්චල ව ඇත. මනුෂ්‍යයෝ ප්‍රීතියෙන් ගී ගයති.</verse>
				<verse number="8">ලෙබනොන්හි දේවදාර හා කිහිරි ගස් රජුගේ වැටීම ගැන ප්‍රීති ප්‍රමෝද වෙයි. මන්ද, රජුගේ ඇවෑමෙන් පසු ඒවා කපා දැමීමට කිසිවෙක් නැත.</verse>
				<verse number="9">බබිලෝනියේ රජු පිළිගැනීමට පාතාල ලෝකය කට අයා සිටියි. පොළොවේ සිටි බලවතුන්ගේ අවතාර ඔහු හමු වීමට අවදි වෙති. රජවරුන්ගේ අවතාර සිහසුන්වලින් නැඟිටිති.</verse>
				<verse number="10">ඔව්හු ඔහුට කතා කොට, ‘දැන් ඔබත් අප මෙන් බෙලහීන ය; අප හා සමාන ය’යි කියති.</verse>
				<verse number="11">වීණාවල වාදනයෙන් එක් කලක් ඔබ ගරු කරනු ලැබුවෙහි ය. එහෙත් දැන්, ඔබ සිටින්නේ පාතාල ලෝකයේ ය. ඔබ වැතිර සිටින යහන ඉහඳ පණුවන්ගෙන් පිරී ඇත; ඔබේ පොරෝණය ද පණුවන්ගෙන් ගහණ ය.</verse>
				<verse number="12">
					“දීප්තිමත් පහන් තාරකාවෙනි, අරුණෝදයේ පුත්‍රයාණෙනි, ඔබ ස්වර්ගයෙන් වැටී සිටින හැටි!
					පෙර ඔබ ජාති ජාතීන් පරාජය කෙළෙහි ය. දැන් ඔබ බිමට හෙළා වැටී සිටින හැටි!
				</verse>
				<verse number="13">
					ඔබ මෙසේ සිතා ගත්තෙහි ය:
					‘මම ස්වර්ගයට නැඟී, මාගේ සිංහාසනය අහසේ තාරකාවලට ඉහළින් පිහිටුවා උතුරේ ඇති, දෙවිවරුන් රැස් වන කන්ද මුදුනේ රජෙකු මෙන් අසුන් ගන්නෙමි.
				</verse>
				<verse number="14">වලාකුළු පසු කොට ඉහළට නැඟී සර්ව පරාක්‍රමයාණන්ට සමාන වන්නෙමි.</verse>
				<verse number="15">අනේ! එහෙත්, ඔබ පාතාල ලෝකයේ පතුලට ම වැටී සිටින හැටි!</verse>
				<verse number="16">එහි සිටින අය ඔබ දෙස රවා බලා, ‘පොළොව කම්පා කොට රාජ්‍යයන් බියෙන් ඇලළී යන්න සැලැස්සූ බලවතා ඔබ ද?</verse>
				<verse number="17">නගර නැති නාස්ති කොට, ලෝකය පාළුකරයක් බවට පත් කළ තැනැත්තා මොහු ද? සිරකරුවන්ට කිසි කලෙක නිදහස නුදුන් ඔවුන්ට ආපසු ගෙදර යන්න ඉඩ නුදුන් තැනැත්තා මොහු දැ’යි අසති.</verse>
				<verse number="18">ලෝකයේ සියලු රජවරුන්ගේ මළසිරුරු අනර්ඝ සොහොන්වල තබා ඇත;</verse>
				<verse number="19">එහෙත්, දුගඳ හමන ඔබේ මළසිරුර පිටතට ඇදදමා ඇත. එය යුද්ධයේ දී මළ හේවායන්ගේ මළකඳන්වලට යට වී ඇත. ඒවා සමඟ ඔබේ මළකඳත් ගල් වළකට විසිකරදමනු ලැබ පාගාදමා ඇත.</verse>
				<verse number="20">ඔබ ඔබේ දේශය නාස්ති කොට, ඔබේ සෙනඟ මරාදැමූ බැවින්, අන් රජවරුන් භූමදාන කරනු ලබන්නාක් මෙන් ඔබ භූමදාන කරනු නොලබන්නෙහි ය. ඔබේ දුෂ්ට පවුලේ කිසිවෙකුත් සිහියට පවා නොගැනෙති!</verse>
				<verse number="21">ඝාතනය ආරම්භ වේ වා! මේ රජ්ජුරුවන්ගේ දරුවෝ සිය මුතුන්මිත්තන්ගේ පව් නිසා මරනු ලබන්නෝ ය. ඔවුන්ගෙන් කිසිවෙකුත් ලෝකය පාලනය කරන්නේ වත්, ලොව පුරා නගර පිහිටුවන්නේ වත් නැත.”</verse>
				<verse number="22">සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම බබිලෝනියට පහර දී එය විනාශ කරන්නෙමි. බබිලෝනිය යන නාම මාත්‍රය ද එහි ඉතිරි ව සිටින අය සහ දරු මුණුබුරන් ද මම නැත්තට ම නැති කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="23">මම බබිලෝනිය ගොහොරු බිමක් කරන්නෙමි. ඉත්තෑවුන් එහි වාසය කරනු ඇත. විනාශය නමැති කොස්සෙන් මම බබිලෝනිය සහමුලින් ම අතුගාදමන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
				<verse number="24">සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ දිවුරා ඇත: “මා අදහස් කළ ලෙස සිදු වන්නේ ය. මා කරන්න අධිෂ්ඨාන කළ දේ කරනු ලබන්නේ ම ය.</verse>
				<verse number="25">මාගේ ඉශ්රායෙල් දේශයේ මම අසිරියන්වරුන් විනාශ කොට මාගේ කඳු පිට ඔවුන් පයින් පාගාදමන්නෙමි. මාගේ සෙනඟ අසිරියාවේ වහල්කමෙන් ද ඔවුන් පිට පටවන ලද බරෙන් ද නිදහස් කරන්නෙමි.</verse>
				<verse number="26">මුළු පොළොව පිළිබඳ මාගේ තීරණය මෙය වේ. ජාතීන්ට දඬුවම් කරන පිණිස මම මාගේ අත ඔසවාගෙන යමි.”</verse>
				<verse number="27">සව් බලැති සමිඳුන් මෙසේ කිරීමට අධිෂ්ඨාන කර ඇත. එය නිෂ්ප්‍රභා කරන්නේ කවරෙක් ද? දඬුවම් කිරීමට එතුමන් ස්වකීය හස්තය ඔසවා ඇත. එය නැවැත්විය හැක්කේ කාට ද?</verse>
				<verse number="28">ආහාස් රජු මරණයට පත් වූ අවුරුද්දේ දී ප්‍රකාශ කරන ලද පණිවුඩය මෙය ය:</verse>
				<verse number="29">
					“අහෝ පිලිස්තියේ ජනයෙනි, නුඹලාට පහර දුන් යෂ්ටිය දැන් කැඩී ඇත.
					එහෙත්, ප්‍රීති නොවන්න. මන්ද, එක සර්පයෙකු මළ විට ඊට වඩා විසිකුරු සර්පයෙක් එන්නේ ය. උගේ බිජුවෙන් ඉගිලෙන ගිනි සර්පයෙක් ඇති වන්නේ ය.
				</verse>
				<verse number="30">සමිඳුන් තමන් සෙනඟ අතරෙන් දුප්පත් අය පෝෂණය කොට, ඔවුන්ට සුරැකි ව ජීවත් වීමට සලසන සේක. එහෙත්, පිලිස්තිවරුන් වන නුඹලාගෙන් එකෙකු වත් ඉතිරි නොවන සේ එතුමාණෝ නුඹලා පිට භයානක සාගතයක් එවන සේක.</verse>
				<verse number="31">පිලිස්ති ජනයෙනි, උදව් උපකාර ඉල්ලා කෑමොර ගසන්න; භීතියෙන් ඇලළී යන්න. උතුරෙන් දූවිලි වලාකුළක් මෙන් හමුදාවක් පැමිණෙන්නේ ය. එය වනාහි බිය සුලු ව ආ අය කිසිවෙකු නැති යුද හමුදාවකි.</verse>
				<verse number="32">පිලිස්තියෙන් අප වෙත පැමිණෙන පණිවුඩකාරයන්ට අප කුමන පිළිතුරක් දිය යුතු ද? ‘සමිඳුන් සියොන් පිහිටුවා ඇත. එතුමන්ගේ දුක් විඳින සෙනඟට එහි සුරැකි ව විසිය හැකි යැ’යි කියන්නෙමු.”</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">මෝවබ් රට පිළිබඳ පණිවුඩය මෙය ය: “එක රාත්‍රියක දී මෝවබ් දේශයෙහි ආර් හා තීර් පාළු කොට වනසන ලදී; මෝවබ් දේශය පුරා විනාශය ඇත.</verse>
				<verse number="2">දීබොන් දේශයේ සෙනඟ ගිරිකුළු දේවාලවලට ගොස් හඬා වැලපෙන්නෝ ය. නෙබෝ සහ මේදෙබා ගැන මෝවබ් වැලපෙන්නේ ය. දුක් බරින් ඔවුන් තමන්ගේ හිස් මුඩු කර රැවුල් කපා ඇත.</verse>
				<verse number="3">වීථිවල සිටින සෙනඟ ගෝණි රෙදි ඇඳ සිටිති; ඔව්හු සැම දෙන ම තමන්ගේ පියසි උඩ ද එළිමහන් ඉඩම්වල ද කඳුළු හළමින්, කෑමොරගසා විලාප කියති.</verse>
				<verse number="4">හෙෂ්බොන් හා එලෙයාලේ නගරවල සෙනඟ කෑගසති; ඔවුන්ගේ හඬ ජහශ් දක්වා ඇසෙයි. හේවායෝ පවා වෙවුලති. ඔවුන්ගේ ධෛර්යය පහ වී ගොස් ඇත.</verse>
				<verse number="5">මාගේ සිත මෝවබ් නිසා කම්පා වෙයි. එහි සෙනඟ ශෝවාර් හෙවත් එග්ලත්-ෂෙලිෂිය නගරයට පලා යති. ඇතැමෙක් හඬ හඬා ලුහිත්හි ගොඩැල්ලේ නැඟී යති. හොරොනායිම් මාර්ගයෙහි දී සමහරු මරහඬ දෙමින් කෑගසති.</verse>
				<verse number="6">නිම්රිම්හි ඔය සිඳී ගොස් පාළුකරයක් වී ඇත. ඒ අසල තණ මැලවී ගොස් ඇත. අමු කොළයක් දකින්න වත් නැත.</verse>
				<verse number="7">තමන් රැස් කරගත් දේපළ රැගෙන බට පඳුරු ඇති ඔය හරහා පලා යන්න සෙනඟ උත්සාහ කරති.</verse>
				<verse number="8">මුළු මෝවබ් දේශය පුරා කෑගැසීමේ හඬ ඇසේ; එහි විලාප හඬ එග්ලයිම් හා බෙයෙර්-එලීම් නගර දක්වා ඇසේ.</verse>
				<verse number="9">දීමොන් නගරයේ ගඟ ලෙයින් පිරී ඇත. ඊටත් වඩා භයානක දෙයක් එහි සෙනඟට කරන්න දෙවිඳුන් අදහස් කර ඇත. මෝවබ් දේශයෙන් පලා යන අයත්, ඉතිරි ව සිටින සියලු දෙනාත් සිංහයන්ට ගොදුරු වෙති.”</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">මෝවබ්හි සෙනඟ කාන්තාරයේ පිහිටි සේලා නගරයේ සිට ජෙරුසලමේ ආණ්ඩුකාරයා වෙත තෑග්ගක් ලෙස බැටළු පැටවුන් යවන්නෝ ය.</verse>
				<verse number="2">ඔව්හු කැදැල්ලෙන් පලවා හරින ලද කුරුල්ලන් මෙන් අර්ණොන්හි තොටුපළවල ඉවක් බවක් නැති ව ඒ මේ අත යති.</verse>
				<verse number="3">ජුදාවේ සෙනඟට ඔව්හු මෙසේ කියති: “අපට උපදෙස් දෙන්න; යුක්තිය ඉටු කරන්න; ඉර මුදුන් වේලේ ගසකින් වැටෙන සිසිල් සෙවණ යට මෙන් අප ආරක්ෂා කරන්න; ඔබේ පිහිට අපට දෙන්න; ගෙයක් දොරක් නැති අප සඟවාගන්න; පලා එන අය පාවා නොදෙන්න.</verse>
				<verse number="4">නුඹලාගේ දේශයේ වාසය කරන්න අපට ඉඩ දෙන්න. අප විනාශ කරන්න මාන බලන අයගෙන් අප ආරක්ෂා කරගන්න. පීඩාව ද විනාශය ද කෙළවර වන්නේ ය. දේශය නැති නාස්ති කරන අය පහ වී යන්නෝ ය.</verse>
				<verse number="5">එවිට දාවිත්ගේ පරපුරෙන් කෙනෙකු රජ වී අවංක ලෙස ද ප්‍රේමයෙන් ද ආණ්ඩු කරනු ඇත; හරි දේ කිරීමටත්, යුක්තිය ඉටු කිරීමටත් යුහුසුලු වනු ඇත.”</verse>
				<verse number="6">ජුදාවේ සෙනඟ කතා කරමින්, “මෝවබ් සෙනඟගේ උඩඟුව ද දර්පය ද අහංකාරය ද ගැන අසා ඇත. එහෙත්, ඔවුන්ගේ පාරට්ටුව හිස් ය”යි කියති.</verse>
				<verse number="7">එක් කෙනෙකු වත් නෑර, මෝවබ්වරු තමන්ට ඇති දුක් විපත් නිසා වැලපෙති. ඔව්හු කීර්-හරෙසෙත් කෙරෙහි බලාපොරොත්තු සුන් වී වැලපෙති.</verse>
				<verse number="8">හෙෂ්බොන්හි කෙත් ද සිබ්මාහි මිදි වැල් ද මැලවී ගොස් ඇත. ජාතීන්ගේ පාලකයන් මත් වූයේ ඒ මිදි වැල්වලින් ලබාගත් මිදියුස බීමෙන් ය. එක් කාලයක දී ඒ මිදි වතු නැගෙනහිර ජාශර් නගරය හා කාන්තාරය දක්වා ද බස්නාහිර මළ මුහුදෙන් එහා පැත්ත දක්වා ද විහිදී ගොස් තිබිණි.</verse>
				<verse number="9">දැන් මම ජාශර්හි වූ මිදි වැල් ගැන වැලපෙන්නාක් මෙන්, සිබ්මාහි මිදි වැල් ගැන ද වැලපෙන්නෙමි. හෙෂ්බොන් හා එලෙයාලේ ගැන මම කඳුළු වගුරුවන්නෙමි. යුද හඬ නුඹේ කෙත් වතු පවා විනාශ කිරීමට එන්නේ ය.</verse>
				<verse number="10">සාරවත් කෙත්වල කිසිවෙකුට ප්‍රීතියක් නැත. මිදි වතුවල කිසිවෙකු ගී ගයන්නේ නැත. මිදියුස ලැබීමට කිසිවෙකු මිදි වලු පාගා මිරිකන්නේ නැත. ප්‍රීති නාදය දැන් ඇසෙන්නේ නැත.</verse>
				<verse number="11">මෝවබ් ගැන දුකෙන් ද කීර්-හෙරෙස් ගැන දොම්නසින් ද මම කෙඳිරිගාන්නෙමි.</verse>
				<verse number="12">මෝවබ්හි සෙනඟ යාච්ඤා කරන පිණිස කඳු මුදුන්හි ඇති ශුද්ධස්ථානවලටත්, ගිරිකුළු දේවාලවලටත් යමින් වෙහෙසෙති. එයින් ඔවුන්ට කිසි වැඩක් වන්නේ නැත.</verse>
				<verse number="13">මෝවබ් ගැන සමිඳාණන් වහන්සේ මුලින් ප්‍රකාශ කළ පණිවුඩය එය වේ.</verse>
				<verse number="14">එහෙත්, දැන් සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “කුලීකරුවාගේ සේවා කාලය අවසාන වන්නා සේ අවුරුදු තුනක් ඇතුළත දී මෝවබ්හි සියලු යසඉසුරු නැති වී යන්නේ ය. විශාල සමූහයක් අතරෙන් ඉතිරි වන්නේ ස්වල්ප දෙනෙක් පමණ ය. ඔව්හු ද දුර්වල අය වෙති.”</verse>
			</chapter>
			<chapter number="17">
				<verse number="1">දමස්කය පිළිබඳ දේව ප්‍රකාශනය මෙය ය: සව් බලැති දෙවි සමිඳාණෝ මෙසේ වදාරන සේක: “දමස්කය මින් මතු නුවරක් ව නොපවතින්නේ ය. එය නටබුන් ගොඩක් වන්නේ ය.</verse>
				<verse number="2">සිරියාවේ නගර සදහට ම පාළු වන්නේ ය. ඒවා බැටළුවන්ට හා ගවයන්ට ලැගුම් බිම් වන්නේ ය. උන් එලවාදමන්න කිසිවෙක් එහි නොවන්නෝ ය.</verse>
				<verse number="3">ඉශ්රායෙල් බලකොටු බිඳ වැටෙන්නේ ය; දමස්ක ආධිපත්‍යය නැති වන්නේ ය. ඉශ්රායෙල් සෙනඟට වූවාක් මෙන් ඉතිරි වන සිරියන්වරුන්ගේත් යසඉසුරු පහ වී යන්නේ ය.</verse>
				<verse number="4">“ඉශ්රායෙල්හි තේජස හීන වන එහි වස්තුව පහවන කාලයක් පැමිණෙන්නේ ය.</verse>
				<verse number="5">ඉශ්රායෙල් ගොයම් කපන ලද කෙතක් මෙන් වන්නේ ය. එය රෙපාවරුන්ගේ මිටියාවතේ අන්තිම කරල පවා අහුලාගත් පසු පාළු වී ඇති කෙතක් මෙන් වන්නේ ය.</verse>
				<verse number="6">ඔලීව ගසක් සෙලවූ කල මුදුන් අත්තේ ගෙඩි දෙක තුනක් ද අන් අතුවල ගෙඩි හතරක් පහක් ද ඉතිරි වන්නාක් මෙන් ඉශ්රායෙල්හි සෙනඟ ස්වල්ප දෙනෙක් පමණක් ඉතිරි වන්නෝ ය. මෙසේ පවසන්නේ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුන් වන මම ය.”</verse>
				<verse number="7">ඒ දවස පැමිණි විට සෙනඟ තමන්ගේ මැවුම්කාරයාණන් වන ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ දෙවියන් වහන්සේ වෙත පිහිට සොයා හැරෙන්නෝ ය.</verse>
				<verse number="8">ඔවුන් තමන්ගේ අත්වලින් තනාගත් පූජාසන සලකන්නේ වත්, අෂේරා දේවිය නැමදීමට සිය’තින් සාදාගත් කප් කණු හා දුම් පූජාසන කෙරෙහි විශ්වාසය තබන්නේ වත් නැත.</verse>
				<verse number="9">ඒ දවස පැමිණි විට මනා සේ ආරක්ෂා කරන ලද ඒ නගර පාළු වී ඉශ්රායෙල්වරුන් කෙරෙන් හිවීවරුන් ද අමෝරිවරුන් ද පාළුවට හැර පලා ගිය නගර මෙන් නටබුන් වන්නේ ය.</verse>
				<verse number="10">ඉශ්රායෙල්වරුනි, ඔබේ විමුක්තිය හා රැකවරණය වන, පර්වතය මෙන් වැඩ සිටින දෙවිඳුන් අමතක කර, ඔබ අඩොනිස් දෙවියාට ද අන්‍ය දෙවිවරුන්ට ද වෘක්ෂාරාම කැප කළහු ය.</verse>
				<verse number="11">එහෙත්, ඒවා පැළ කළ දවසේ දී ම ඒවායේ දලු ලා මල් ද හටගන්න නමුත්, පල නෙළාගැනීමට හැකි වන්නේ නැත. ශෝකය හා තද දුක පමණක් ඇති වන්නේ ය.</verse>
				<verse number="12">අන්න, බොහෝ ජන සමූහයන්ගේ ඝෝෂාවක්! මුහුදු ඝෝෂාවක් මෙන් ද මහා රළ පතර ගර්ජනාවක් මෙන් ද ඔව්හු ගිගුරුම් දෙති.</verse>
				<verse number="13">වේගවත් රළ පතර මෙන් ඔවුන් ඉදිරියට ආවත්, දෙවිඳාණෝ ඔවුන්ට තරවටු කරන සේක. එවිට කඳු බෑවුම්වල තිබෙන ධූලි සුළඟටත්, බොල් වී, සුළි සුළඟටත් ගසාගන යන්නාක් මෙන් ඔව්හු පසු බසින්නෝ ය.</verse>
				<verse number="14">සවස ඔවුන් අන් අය බිය ගන්වන නමුත්, උදේ වන විට ඔවුන් දකින්න වත් නැත. අපේ දේශය කොල්ල කන අයගේ ඉරණම එය ය.</verse>
			</chapter>
			<chapter number="18">
				<verse number="1">එතියෝපියාවේ ගංගාවලට එගොඩින් පියාපත් ගසන හඬක් ඇසෙන රටක් ඇත.</verse>
				<verse number="2">ඒ රටින් බට පතුරුවලින් සාදාගත් නැව්වල නයිල් ගඟ දිගේ තානාපතීහු පැමිණෙති. ශීඝ්‍ර පණිවුඩකාරයන් වන ඔබ ආපසු ගෙදර යන්න. නයිල් ගඟේ අතුවලින් බෙදී ගිය රටේ වසන ඔබේ ශක්තිමත් බලසම්පන්න ජාතියට, සියලු දෙනා භීතියට පත් කර ඇති සෙනඟ වෙත පණිවුඩයක් රැගෙන යන්න.</verse>
				<verse number="3">ලෝ වැසි සියල්ලෙනි, දෙරණ වැසි සියල්ලෙනි, සවන් දෙන්න. කඳු පිට සංඥාව ඔසවන විට බලන්න; හොරණෑව පිඹින විට සවන් දෙන්න.</verse>
				<verse number="4">සමිඳුන් මට කතා කොට මෙසේ වදාළ සේක: “දාවල් ග්‍රීෂ්ම වේලාවේ පායන හිරු මෙන් සන්සුන් ව ද ගොයම් කපන කාලයේ උණුසුම් රැයේ පිනි වලාකුළක් මෙන් නිශ්චල ව ද මම ස්වර්ගයේ සිට බලන්නෙමි.</verse>
				<verse number="5">මල් වැටී, ඉදීගෙන එන මිදි පල නෙළාගන්න පෙර මිදි වැලක විසිරී ගිය මිදි රිකිලි කැතිවලින් පාහින්නා සේ ඉතා පහසුවෙන් සතුරෝ එතියෝපියන්වරුන් විනාශ කරති.</verse>
				<verse number="6">ඔවුන්ගේ හේවායන්ගේ මළකඳන් පක්ෂීන්ටත්, මෘගයන්ටත් ගොදුරු වන පිණිස අත්හැරදමනු ලබන්නේ ය. ග්‍රීෂ්ම කාලයෙහි පක්ෂීහු ද ශීත කාලයෙහි මෘගයෝ ද ඒවා කාදමන්නෝ ය.</verse>
				<verse number="7">නයිල් ගඟේ අතුවලින් බෙදී ගිය රටේ පිහිටි උස් වූ සිනිඳු වූ හමක් ඇති, ලෝකයේ සියලු දෙනා භීතියට පත් කර ඇති මේ ශක්තිමත් බලසම්පන්න ජාතියෙන් සව් බලැති සමිඳුන් පුද පූජා ලබන කාලයක් පැමිණෙන්නේ ය. සව් බලැති දෙවිඳුන් නමස්කාර කරනු ලබන සියොන් කන්ද වෙත ඔව්හු පැමිණෙන්නෝ ය.</verse>
			</chapter>
			<chapter number="19">
				<verse number="1">මිසරය පිළිබඳ දේව ප්‍රකාශනය මෙසේ ය: සමිඳාණෝ ශීඝ්‍ර වලාකුළක් පිට නැඟී මිසර දේශයට වඩින සේක. මිසරයේ දේවතා රූප එතුමන් ඉදිරියෙහි චංචල වන්නේ ය. එහි සෙනඟ අධෛර්යයට පත් වන්නෝ ය.</verse>
				<verse number="2">සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම මිසර දේශය තුළම රටවැසියන් අතර ම යුද්ධයක් හටගන්වන්නෙමි. එකිනෙකා තම තමාගේ සහෝදරයාටත්, තම තමාගේ අසල්වැසියාටත් විරුද්ධ ව පොළඹවන්නෙමි. නුවරක් නුවරකටත්, රජෙකු රජෙකුටත් විරුද්ධ ව සටන් කරනු ඇත.</verse>
				<verse number="3">මිසර වැසියන්ගේ උපායයන් මම ව්‍යර්ථ කරන්නෙමි; ඔවුන්ගේ චිත්ත ධෛර්යය බිඳදමන්නෙමි. ඔවුන් දේවතා රූපවලින් උපකාර ඉල්ලනු ඇත; මතුරන්නන්ගෙන් ද කට්ටඩියන්ගෙන් ද අනවිනකාරයන්ගෙන් ද ආත්මබන්ධනකාරයන්ගෙන් ද ගුරුකම් සොයනු ඇත.</verse>
				<verse number="4">මම මිසරවරුන් කෲර පාලකයෙකුගේ අතට පාවා දෙන්නෙමි; නපුරු රජෙකු ඔවුන් කෙරෙහි රජකම් කරනු ඇත. මෙසේ වදාරන්නේ සව් බලැති සමිඳුන් වන මම ය.”</verse>
				<verse number="5">නයිල් ගඟේ ජලය සිඳී, ක්‍රමයෙන් වියළී යන්නේ ය.</verse>
				<verse number="6">ඒ ගංගාවේ අතු ගංගා සිඳී වියළී යන අතර දුගඳ හමනු ඇත; බට ගස් ද පන් ගස් ද මැලවී යයි.</verse>
				<verse number="7">නයිල් ගං තෙරේ තිබෙන පැළෑටි ද ගඟ අසබඩ වපුරන සියල්ල ද වේළී වැනසී යන්නේ ය.</verse>
				<verse number="8">නයිල් ගඟේ මසුන් අල්ලන්නෝ සුසුම් ලන්නෝ ය; එහි බිළී බාන්නෝ වැලපෙන්නෝ ය; දැල් හෙළන්නෝ විලාප කියන්නෝ ය.</verse>
				<verse number="9">හණ පීරන්නෝ ද හෙළ පුළුන් ගෙන රෙදි වියන්නෝ ද කලකිරෙන්නෝ ය;</verse>
				<verse number="10">රෙදි වියන්නෝ ද වියවුල් වන්නෝ ය; දක්ෂ ශිල්පීහු ද ඉමහත් ශෝකයට පත් වන්නෝ ය.</verse>
				<verse number="11">ශොවන් නගරයේ අධිපතීහු අන්ත මෝඩයෝ ය. මිසරයේ නැණවත් උපදේශකයෝ අමන උපදෙස් දෙති. පුරාණ පණ්ඩිතයන්ගෙන් ද රජවරුන්ගෙන් ද තමන් පැවත එති යි ඔවුන් රජතුමාට කියන්නේ කෙසේ ද?</verse>
				<verse number="12">මිසරයේ රජතුමෙනි, ඔබේ දක්ෂ උපදේශකයෝ කොහේ ද? සමහර විට සව් බලැති සමිඳුන් මිසරයට විරුද්ධ ව අදහස් කර ඇති දේ ඔබට දන්වන්නට ඔවුන්ට හැකි වනු ඇත.</verse>
				<verse number="13">ශොවන් හා මෙම්පිස් නගරවල අධිපතියෝ අඥානයෝ ය. තමන් ජාතියට මඟ පෙන්වනු ඇතැ යි සිතූ ඔවුන් ජාතිය නොමඟ යවා ඇත.</verse>
				<verse number="14">සමිඳුන් ඔවුන් වියවුල් කරවන ව්‍යාකූලත්වයක් නගරය තුළ බිහිකර ඇත. ඒ හේතුවෙන් මිසරය හැම වැරදි දෙයක් ම කරයි. සුරා සොඬෙකු තමාගේ ම වමනය මත ලිස්සා යන්නාක් මෙන් මිසරය ඒ මේ අත වැනි වැනී යයි,</verse>
				<verse number="15">මිසරයේ සිටින දුප්පත් පොහොසත්, උසස් පහත් කිසිවෙකුට උපකාර දීමට එයට නොහැකි ය.</verse>
				<verse number="16">සියලු බලැති සමිඳාණන් වහන්සේ ඔවුන්ට දඬුවම් කරන්න අත ඔසවා ඇති බව ඔවුන් දුටු විට, මිසරයේ සෙනඟ ස්ත්‍රියක මෙන් බයාදුකමින් තැති ගැනී වෙවුළන්නෝ ය.</verse>
				<verse number="17">සියලු බලැති සමිඳාණන් වහන්සේ ඔවුන්ට විරුද්ධ ව කර ඇති නියමය ඔවුන්ට සිහිකර දෙන හැම වේලේ ම ජුදා දේශය ඔවුන්ට භීතියක් වන්නේ ය.</verse>
				<verse number="18">ඒ දවස පැමිණි විට හෙබ්‍රේව් භාෂාව මිසරයේ නගර පහක ව්‍යවහාර කරනු ලැබේ. එහි සිටින සෙනඟ සියලු බලැති සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරුම් දෙනු ඇත. එක නගරයක් ‘සූර්ය නගරය’ යයි කියනු ලබන්නේ ය.</verse>
				<verse number="19">ඒ දවස පැමිණි විට සමිඳාණන් වහන්සේට මිසරයේ පූජාසනයක් ද එහි සීමාව ළඟ ගල් කණුවක් ද පිහිටුවනු ලබන්නේ ය.</verse>
				<verse number="20">සියලු බලැති සමිඳාණන් වහන්සේ මිසරයේ වැඩ සිටින බවට ඒවා සලකුණු වන්නේ ය. එහි සිටින සෙනඟ පීඩා කරනු ලබන කල, ඔවුන් සමිඳාණන් වහන්සේට යාච්ඤා කළ විට, උන් වහන්සේ ඔවුන් ගළවන පිණිස කෙනෙකු ඔවුන් වෙත එවන සේක.</verse>
				<verse number="21">සමිඳාණන් වහන්සේ මිසරයේ සෙනඟට ප්‍රකාශ වන සේක. එසේ කළ විට ඔව්හු උන් වහන්සේ පිළිගෙන පුද පූජා උන් වහන්සේ වෙත ගෙන අවුත් නමස්කාර කරන්නෝ ය. ඔව්හු සමිඳාණන් වහන්සේට පොරොන්දු දී ඒවා ඉෂ්ට කරන්නෝ ය.</verse>
				<verse number="22">සමිඳාණන් වහන්සේ මිසරයේ සෙනඟට දඬුවම් දෙන සේක; දඬුවම් කර සුව කරන සේක. ඔවුන් සමිඳාණන් වහන්සේ වෙත හැරෙනු ඇත. උන් වහන්සේ ද ඔවුන්ගේ කන්නලවු පිළිගෙන ඔවුන් සුවපත් කරනු ඇත.</verse>
				<verse number="23">ඒ දවස පැමිණි විට මිසරයේ සිට අසිරියාව දක්වා මහා මාවතක් වන්නේ ය. එහි සිටින සෙනඟ මේ දෙරට අතරේ ඔබමොබ ගමන් කරනු ඇත. මිසරවරුන් ද අසිරියන්වරුන් ද එකට නමස්කාර කරනු ඇත.</verse>
				<verse number="24">ඒ දවස පැමිණි විට ඉශ්රායෙල් දේශය මිසරය හා අසිරියාව සමඟ උරෙන් උර ගැටෙන්නේ ය. ඒ ජාති තුන ම මුළු ලොවට ආශීර්වාදයක් වන්නෝය.</verse>
				<verse number="25">සියලු බලැති සමිඳාණන් වහන්සේ ඔවුන්ට ආශීර්වාද කොට, “මාගේ සෙනඟ වන මිසරයටත්, මාගේ මැවිල්ල වන අසිරියාවටත්, මාගේ තෝරාගත් සෙනඟ වන ඉශ්රායෙල්ටත් මම ආශීර්වාද කරන්නෙමි”යි කියන සේක.</verse>
			</chapter>
			<chapter number="20">
				<verse number="1">අසිරියාවේ රජ වූ සර්ගොන්ගේ අණ පරිදි අසිරියන් හමුදාවේ අණ දෙන නිලධාරියා වන තර්තාන් අෂ්දොද් නම් පිලිස්තියේ නගරයට පහර දී එය අත්පත් කරගත්තේ ය.</verse>
				<verse number="2">එයට තුන් අවුරුද්දකට පෙර සමිඳාණන් වහන්සේ ආමොස්ගේ පුත්‍ර වූ යෙසායාට කතා කොට, ඔහු ඉඟ වටා ඇඳ සිටි ගෝණි රෙද්ද හා ලා ගෙන සිටි පාවහන් ඉවත දමන්න අණකළ සේක. ඔහු එසේ කොට වස්ත්‍ර ද පාවහන් ද නැති ව ඇවිද්දේ ය.</verse>
				<verse number="3">අෂ්දොද් නගරය අල්ලා ගනු ලැබූ කල සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මාගේ මෙහෙකරු වන යෙසායා තුන් අවුරුද්දක් මුළුල්ලේ වස්ත්‍ර ද පාවහන් ද නැති ව තැන් තැන්වල ඇවිද්දේ ය. මේ වනාහී මිසරයටත්, එතියෝපියාවටත්, සිදු වන්න යන දේ පිළිබඳ පෙර නිමිත්තකි.</verse>
				<verse number="4">අසිරියාවේ රජ මේ දෙරටින් අල්ලාගත් සිරකරුවන් නග්නකර, වහල්කමට ගෙන යන්නේ ය. මිසරයට නින්දාවක් පමුණුවමින් බාල මහලු සියලු දෙනා පාවහන් නැති ව නග්න ව, ඉණ ඉහ නැති ව ගමන් ගන්නෝ ය.</verse>
				<verse number="5">එතියෝපියාව කෙරෙහි තමන්ගේ විශ්වාසය තැබූ මිසරය ගැන පාරට්ටු කළ අය වියවුල් වී ලජ්ජාවට පැමිණෙන්නෝ ය.</verse>
				<verse number="6">ඒ කාලය පැමිණි විට පිලිස්තියේ මුහුදුබඩ වැසියෝ කතා කොට, අසිරියාවේ රජුගෙන් අප ආරක්ෂා කරනු ඇතැ යි මහත් අපේක්ෂාවෙන් විශ්වාස කළ සෙනඟට සිදුවී තිබෙන දේ බලන්න. අපේ අපේක්ෂාවට මෙසේ සිදු වූයේ නම්, අප ගැළවෙන්නේ කෙසේ දැ යි කියනු ඇත.”</verse>
			</chapter>
			<chapter number="21">
				<verse number="1">බබිලෝනිය පිළිබඳ දේව ප්‍රකාශනය මෙසේ ය: කාන්තාරය හරහා හමන සුළි සුළඟක් සේ භයානක දේශයකින් විනාශය පැමිණෙන්නේ ය.</verse>
				<verse number="2">කෲරතර සිද්ධීන් පිළිබඳ දර්ශනයක් මට ප්‍රකාශ කරන ලද්දේ ය. එය කොල්ලයත්, විනාශයත් පිළිබඳ දර්ශනයකි. ඒලාම් හමුදාවෙනි, පහර දෙව්! මේදිය හමුදාවෙනි, නගර වටලාගනිව්! බබිලෝනිය විසින් ඇති කරන ලද දුක් වේදනා දෙවිඳාණෝ කෙළවර කරන සේක.</verse>
				<verse number="3">මා දුටු සිහිනය මාගේ සිතෙහි ඉමහත් භීතියක් ද ස්ත්‍රියකට ඇතිවන ප්‍රසව වේදනාව වැනි වේදනාවක් ද ඇති කර තිබේ. මම කන් නෑසෙන තරම් වේදනාවෙන් මිරිකී සිටිමි; ඇස් නොපෙනෙන තරම් කැළඹී සිටිමි.</verse>
				<verse number="4">මාගේ හිස කරකැවේ; භීතියෙන් මම වෙවුළමි; සවස් වන තුරු මම බලාපොරොත්තුවෙන් බලා සිටිමි. එහෙත්, සවස් වූ විට ඇති වූයේ භීතිය පමණකි.</verse>
				<verse number="5">භෝජන උත්සවයක් පිළියෙළ කරනු ලබන බවත්, අමුත්තන්ට අසුන් ගැනීමට බුමුතුරුණු තබන බවත්, ඔවුන් කමින් බොමින් සිටින බවත් ඒ දර්ශනයෙන් පෙනේ. එවිට හදිසියේ ම, “නිලධාරියෙනි නැඟිටින්න, නුඹලාගේ පලිස් සූදානම් කරන්නැ”යි ආඥාවක් නික්මේ.</verse>
				<verse number="6">එවිට සමිඳාණෝ මට මෙසේ වදාළ සේක: “නුඹ ගොස් මුරකාරයෙකු තබා, ඔහු දකින දේ දන්වන්න කියා ඔහුට කියන්න.</verse>
				<verse number="7">අසරුවන් දෙදෙන දෙදෙන බැගින් ද කොටළුවන් හා ඔටුවන් පිට යන මිනිසුන් ද ඔහු දුටුවොත්, එය සුපරීක්ෂාකාරීව නරඹන්න කියා ඔහුට කියන්න.”</verse>
				<verse number="8">මුරකරුවා ද, “ස්වාමීනි, මම රෑ දාවල් දෙක්හි මුර පළේ සිටියෙමි”යි කෑ ගසා කියන්නේ ය.</verse>
				<verse number="9">
					හදිසියේම අසරුවන් දෙදෙන දෙදෙන පිට සෙනඟ පැමිණෙති;
					මුරකරුවා ඒ පුවත පළ කරමින්, “බබිලෝනිය වැටිණි! බබිලෝනිය වැටිණි! ඇගේ දෙවිවරුන් වන කැපූ රූප සියල්ල ම කඩා බිඳදමන ලද්දේ ය”යි කියන්නේ ය.
				</verse>
				<verse number="10">මාගේ ඉශ්රායෙල් සෙනඟෙනි, නුඹලා කමතේ ගොයම් මෙන් මඩිනු ලැබුවහු ය. එහෙත් දැන්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි වන සව් බලැති සමිඳුන්ගෙන් මා ඇසූ ශුභ අස්න මම නුඹලාට දැනුම් දෙන්නෙමි.</verse>
				<verse number="11">ඒදොම් ගැන දේව ප්‍රකාශනය මෙසේ ය: සේයිර් සිට කෙනෙක් මට හඬගසා, “මුරකරුව, රාත්‍රිය ගෙවී යන්න තව කොතෙක් වේලා ඇද් ද? එය ඉක්මනින් ගෙවී යනු ඇද්දැ”යි අසන්නේ ය.</verse>
				<verse number="12">“පහන් වේලාව එන්නේ ය; රාත්‍රිය ද එන්නේ ය; ඔබ අසන්න කැමැති නම්, යළි අවුත් අසන්නැ”යි ඔහු පිළිතුරු දෙන්නේ ය.</verse>
				<verse number="13">අරාබිය ගැන දේව ප්‍රකාශනය මෙසේ ය: තවලම් කණ්ඩායම් වශයෙන් ගමන් කරන දෙදාන්වරුනි, අරාබියේ පාළු ප්‍රදේශයේ නුඹලා කඳවුරු බැඳගෙන සිටින්නහු ය.</verse>
				<verse number="14">නුඹලා වෙත පැමිණෙන පිපාසිත සෙනඟට බොන්න වතුර දෙන්න; තේමා රටේ වැසියෙනි, නුඹලාගේ පිහිට සොයා පලා එන්නන්ට කන්න දෙන්න.</verse>
				<verse number="15">ඔව්හු කොපුවෙන් ඇදගත් කඩුවලින් ද තැත් කැවූ දුන්නෙන් ද යුද්ධයෙන් ඇති වන විනාශයෙන් ද ගැළවෙන පිණිස පලා යති.</verse>
				<verse number="16">එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “හරියට තව අවුරුද්දකින් කේදාර්හි ගෝත්‍රවල බලය නැතිවී යන්නේ ය.</verse>
				<verse number="17">දුනුවායෝ කේදාර්හි සිටින සෙනඟ අතරෙන් ඉතා නිර්භීත අය වෙති. එහෙත්, ඔවුන්ගෙන් ඉතිරි වන්නෝ ඉතා ස්වල්ප දෙනෙක් පමණි. ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වන මම මෙසේ පවසන්නෙමි.”</verse>
			</chapter>
			<chapter number="22">
				<verse number="1">දර්ශන මිටියාවත පිළිබඳ දේව ප්‍රකාශනය මෙසේ ය: වැරදී ඇත්තේ කුමක් ද? නගරයේ සියලු සෙනඟ පියසි උඩට නැඟී උත්සව පවත්වන්නේ මන් ද?</verse>
				<verse number="2">මුළු නගරය ඔල්වර හඬින් ද ඝෝෂාවෙන් ද කලබලයෙන් ද පිරී ඇත. මේ යුද්ධයේ දී මැරුම් කෑ අය මැරුණේ කඩුවෙන් හෝ සටනේ දී හෝ නොවේ.</verse>
				<verse number="3">නුඹලාගේ නායකයෝ සියල්ලෝ ම පලා ගියහ. ඔව්හු එක ඊතලයක් වත් විදින්න පෙර අල්ලාගනු ලැබූ හ. එඩිතර ම අය දුර පලා ගිය නමුත්, සියල්ලෝ ම සිරකරුවන් මෙන් අල්ලාගන්නා ලදහ.</verse>
				<verse number="4">මාගේ සෙනඟ මෙපමණ ගණනක් විනාශ වී ඇති බැවින් දැන් මට තනි ව ම හඬා වැලපෙන්න ඉඩ හරින්න. මා සනසන්න උත්සාහ නොකරන්න.</verse>
				<verse number="5">මේ වනාහි සව් බලැති මහෝත්තම දෙවි ස්වාමීන් විසින් අප පිට පමුණුවන ලද දර්ශන මිටියාවතෙහි කැළඹීම් ද පරාජය ද වියවුල් ද ඇති වන කාලයක් ය. නගරයේ පවුරු බිඳදමා ඇත. පිහිට පතා මොරගැසීම් දෝංකාරය කඳු අතරින් ඇසේ.</verse>
				<verse number="6">ඒලාම් රටේ හේවායෝ දුනු හී ඇති ව, රථ හා අසුන් පිට නැඟී ආහ. කීර් රටේ හේවායෝ තමන්ගේ පලිස් සූදානම් කරගත්හ.</verse>
				<verse number="7">ජුදාවේ ඉතා සාරවත් මිටියාවත් යුද්ධ රථවලින් පිරී තිබිණි. අසරුවෝ ජෙරුසලමේ දොරටුව ඉදිරියෙහි සිටියහ.</verse>
				<verse number="8">ජුදාවේ බලකොටු සියල්ල වැටිණි. එසේ වූ විට නුඹලා ‘ආරණ්‍ය ගෘහය’ නම් ගබඩාවෙන් අවි ආයුධ ගෙනාවහු ය.</verse>
				<verse number="9">ජෙරුසලමේ පවුරු කැඩී බිඳී තිබූ තැන් නුඹලා සටහන් කරගත්තහු ය. පහළ පොකුණෙන් වතුර රැස් කරගත්තහු ය.</verse>
				<verse number="10">නුඹලා ජෙරුසලමේ තිබූ සියලු ගෙවල් ගණන් කොට නගරයේ පවුරු අලුත් වැඩියා කිරීමට ඒ ගෙවල් සමහරකින් ගල් ලබාගන්න පිණිස ඒවා බිඳදැමුවහු ය.</verse>
				<verse number="11">පරණ පොකුණෙන් ගලා එන වතුර රඳවා ගැනීමට නුඹලා බිත්ති දෙක අතර ජලාශයක් තනාගත්තහු ය. එහෙත්, නුඹලා මේ සියල්ල මීට බොහෝ කලකට පෙර සකස්කර, ඒ අයුරින් සිදු වන්න සැලැස්වූ දෙවියන් වහන්සේ සැලකුවේ නැත.</verse>
				<verse number="12">ඒ නිසා සව් බලැති දෙවි සමිඳාණෝ හැඬීමටත්, වැලපීමටත්, ගෝණි රෙදි ඇඳීමටත්, හිස බූගෑමටත් නුඹලා කැඳෙවු සේක.</verse>
				<verse number="13">
					ඒ වෙනුවට නුඹලා ප්‍රීති සන්තෝෂ වූවහු ය.
					කෑම සඳහා ගව බැටළු සතුන් මරා, මිදියුස පානය කළහු ය. “අපි කමු, බොමු. මන්ද, හෙට අපි මැරෙන්නෙමු”යි නුඹලා කීවහු ය.
				</verse>
				<verse number="14">සව් බලැති දෙවි සමිඳාණෝ මට කතා කොට, “ජීවිතාන්තය දක්වා නුඹේ මේ අපරාධ කමා නොකරන බව සව් බලැති දෙවි සමිඳාණන් වන මම නුඹලාට කියමි”යි වදාළ සේක.</verse>
				<verse number="15">සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මට කතා කොට, “රාජගෘහාධිකාරී ෂෙබ්නා වෙත ගොස් මෙසේ කියන්න මට නියම කළ සේකැ”යි දන්වන්න.</verse>
				<verse number="16">“නුඹ කවරෙක් දැ යි සිතාගන්නෙහි ද? මෙහි නුඹට ගල් පර්වත බෑවුමක සොහොනක් කපා ගැනීමට ද නුඹට ම තැනක් සූදානම් කර ගැනීමට ද නුඹට ඇති අයිතිය කුමක් ද?</verse>
				<verse number="17">නුඹ වැදගත් කෙනෙකු වුවත් සමිඳාණන් වහන්සේ නුඹ තදින් අල්ලාගෙන එක වර ම පහතට හෙළන සේක.</verse>
				<verse number="18">උන් වහන්සේ නුඹ ගුලිකර බෝලයක් මෙන් විශාල දේශයකට විසිකර දමන සේක. එහි දී නුඹ මහා ආඩම්බරයෙන් තැකූ යුද්ධ රථ අසල නසින්නෙහි ය. නුඹේ ස්වාමියාගේ වංශයට නුඹ නින්දාවකි.</verse>
				<verse number="19">සමිඳාණන් වහන්සේ නුඹේ නිලයෙන් නුඹ පහකර නුඹේ උසස් තත්ත්වයෙන් නුඹ පහතට හෙළාදමන සේක.”</verse>
				<verse number="20">සමිඳාණන් වහන්සේ ෂෙබ්නාට මෙසේ වදාළ සේක: “එසේ සිදු වූ විට හිල්කියාගේ පුත්‍ර වූ මාගේ මෙහෙකරු වන එලියාකිම්ට මම අඬගසන්නෙමි.</verse>
				<verse number="21">නුඹේ නිල සළුව ඔහුට හඳවා, නුඹේ පටිය ඔහුගේ ඉඟටියේ බැඳ නුඹේ ආධිපත්‍යය මම ඔහුට පවරා දෙමි. ඔහු ජෙරුසලමේ සෙනඟටත්, ජුදාවේ වංශයටත් පියකු මෙන් වනු ඇත.</verse>
				<verse number="22">දාවිත්ගේ වංශයේ නිල යතුරු ඔහුට දෙනු ලබන්නේ ය. ඔහු අරින දේ කිසිවෙක් නොවසන්නේ ය. ඔහු වසන දේ කිසිවෙක් නාරින්නේ ය.</verse>
				<verse number="23">මම සවිකළ ඇණයක් මෙන් ඔහු සිය තනතුරෙහි තිරසර ලෙස පිහිටුවන්නෙමි. ඔහුගේ මුළු වංශයට ඔහු ගෞරවයක් වන්නේ ය.</verse>
				<verse number="24">“ඔහුගේ ඥාතීහු ද ඔහුගේ භාරය යටතේ සිටින සියලු දෙනා ද ඔහුට බරක් වන්නෝ ය. ඇණයක එල්ලා ඇති හැලි වළං මෙන් ඔවුන් ඔහුගේ ඇඟේ එල්ලෙනු ඇත.</verse>
				<verse number="25">එසේ වූ විට ස්ථිර ව සවිකළ ඇණය බුරුල් වී වැටෙන්නේ ය. එහි එල්ලා තිබුණු සියල්ල ගැළවී වැටී යන්නේ ය. එහි අවසානයත් එය ම වන්නේ ය. මෙසේ වදාළේ සමිඳාණන් වහන්සේ ය.”</verse>
			</chapter>
			<chapter number="23">
				<verse number="1">තීර් පිළිබඳ දේව ප්‍රකාශනය මෙසේ ය: අහෝ! තර්ෂිෂ්හි නාවිකයෙනි, කෑමොරගසන්න. මන්ද, තීර් නම් තොටුපළ විනාශකර ඇත. එහි ගෙවල් හා වරාය සුන්බුන් වී ඇත. සයිප්‍රසයෙන් නුඹලාගේ නැව් ආපසු පැමිණෙන විට නුඹලාට ආරංචි වනු ඇත.</verse>
				<verse number="2">සීදොන්හි වෙළෙඳුනි, මුහුදුබඩ වැසියෙනි, නිහඬ වන්න. ඔබේ දූතයෝ මුහුද තරණය කළහ.</verse>
				<verse number="3">මිසර වැසියෝ නයිල් ගඟ අසල අස්වැන්නෙන් ද ධාන්‍යයෙන් ද ජාතීන් අතර වෙළඳාම් කිරීමෙන් ආදායම උපයාගත්තෝ ය. මුහුදෙන් එතෙර සියලු රටවලට නුඹලාගේ භාණ්ඩ යවන ලදී.</verse>
				<verse number="4">එම්බා සීදොන් නගරය, නුඹ ලජ්ජා වන්න. මන්ද, සත් සමුදුරු පත්ලත් නුඹ ප්‍රතික්ෂේප කර, “මම ප්‍රසව වේදනා නොවින්දෙමි; දරුවන් උත්පාද නොකෙළෙමි; තරුණ තරුණියන් ඇතිදැඩි නොකෙළෙමි”යි කියන්නේ ය.</verse>
				<verse number="5">තීර් විනාශ කරනු ලැබූ බව මිසර වාසීන්ට ආරංචි වූ විට ඔව්හු තිගැස්සී ශෝක වන්නෝ ය.</verse>
				<verse number="6">පිනීසියේ සෙනඟෙනි, ශෝකයෙන් කෑමොරගසන්න. නුඹලා තර්ෂිෂ් වරායට පලා යන්න උත්සාහ කරන්නහු ද?</verse>
				<verse number="7">මෙය මීට බොහෝ ඈත කාලයක දී පිහිටුවන ලද ප්‍රීතිමත් නගරය විය හැකි ද? යටත් විජිත පිහිටුවන පිණිස මුහුදින් එතෙර පදිංචිකාරයන් යවන ලද්දේ මේ නගරයෙන් ද?</verse>
				<verse number="8">ලෝ වැසි සියල්ලන්ගේ ගෞරවයට පාත්‍ර වූ රාජකීය වෙළෙඳුන් විසූ, අධිරාජ නගරයක් වූ තීර්ට විරුද්ධ ව මෙය යෝජනා කෙළේ කවරෙක් ද?</verse>
				<verse number="9">ඔවුන් කළ දේ නිසා ඔවුන්ගේ අහංකාරය නැත්තටම නැති කරන පිණිසත්, ගරුබුහුමන් ලත් සෙනඟ නින්දාවට පමුණුවන පිණිසත් මෙසේ යෝජනා කෙළේ සව් බලැති සමිඳාණෝ ය.</verse>
				<verse number="10">තර්ෂිෂ්හි වැසියෙනි, ගොස් දේශය වගා කරන්න, නුඹලා ආරක්ෂා කරන්න දැන් කිසිවෙක් නැත.</verse>
				<verse number="11">සමිඳුන් ස්වකීය හස්තය මුහුද හරහා දිගු කොට රට රාජ්‍යයන් බිඳ හෙළා ඇත. කානාන්හි සවිමත් පවුරු විනාශ කරන ලෙස එතුමන් අණකර ඇත.</verse>
				<verse number="12">“සීදොන් පුරංගනාවෙනි, නුඹේ ප්‍රීතිය දැන් ඉවර ය. නුඹේ සෙනඟ පීඩා කරනු ලබති. ඔවුන් සයිප්‍රසයට පලා ගියත් එහි දී ඔවුන්ට ආරක්ෂාවක් ඇති වන්නේ නැතැ”යි සමිඳාණෝ වදාරන සේක.</verse>
				<verse number="13">තීර් දේශය වන සතුන් විසින් වනසනු ලබන පිණිස මඟ පෑදුවෝ අසිරියන්වරු නොවෙති; වැටලීමේ කොත් ගොඩනඟා තීර්හි බලකොටු බිඳදමා නගරය සුන්බුන් කළෝ බබිලෝනිවරු ය.</verse>
				<verse number="14">තර්ෂිෂ්හි නාවිකයෙනි, කෑමොරගසන්න. මන්ද, නුඹලා විශ්වාසය තැබූ නගරය විනාශකර ඇත.</verse>
				<verse number="15">රජ කෙනෙකුගේ ආයු කාලය වන අවුරුදු හැත්තෑවක් තුළ තීර් අමතක කරනු ලැබේ. ඒ කාලය අවසන් වූ විට තීර් මෙසේ ගයන වෙසඟනක මෙන් වන්නී ය:</verse>
				<verse number="16">“අමතක වී ගිය කාලකණ්ණි වෙසඟන, නුඹේ වීණාව රැගෙන නගරය තුළ සැරිසරන්න. නුඹේ පෙම්වතුන් ආපසු ඇදගන්න පිණිස බොහෝ මිහිරි ගී ගයන්න.”</verse>
				<verse number="17">අවුරුදු හැත්තෑව ගත වූ පසු සමිඳාණන් වහන්සේ තීර් වැසියන්ට සිය පරණ වෙළෙඳාමට යන්න ඉඩ හරින සේක. ඈ ලෝකයේ රට රාජ්‍යයන් සමඟ ගනුදෙනු කරනු ඇත.</verse>
				<verse number="18">ඈ වෙළෙඳාමෙන් උපයන මුදල සමිඳාණන් වහන්සේට කැප කරනු ඇත. ඈ ඒ මුදල් රැස්කර තබා ගන්නේ නැත. සමිඳාණන් වහන්සේ නමදින අය කෑම හා තමන්ට වුවමනා ඇඳුම් මිලයට ගැනීමට ඒ මුදල වැය කරනු ඇත.</verse>
			</chapter>
			<chapter number="24">
				<verse number="1">සමිඳාණෝ පොළොව විනාශ කොට, එය මරුකතරක් කරන සේක. පොළොව පෙරළාදමා, එහි වැසියන් විසුරුවා හරින සේක.</verse>
				<verse number="2">සෙනඟට මෙන් පූජකයාටත්, වැඩකාරයාට මෙන් ඔහුගේ ස්වාමියාටත්, වැඩකාරිට මෙන් ඇගේ ස්වාමි දූටත් මිලයට ගන්නාට මෙන් විකුණන්නාටත්, ණය දෙන්නාට මෙන් ණය ගන්නාටත්, පොළියට දෙන්නාට මෙන් පොළියට ගන්නාටත් එසේ සිදු වන්නේ ය.</verse>
				<verse number="3">පොළොව සුණු විසුණු වී සහමුලින් ම පාළු වන්නේ ය. මෙසේ වදාළේ සමිඳාණෝ ය.</verse>
				<verse number="4">මුළු පොළොව මැලවී, වියළී යන්නේ ය; මුළු ලෝකය අබල දුබල වන්නේ ය; අහසත්, පොළොවත් ජරාවාසයක් වන්නේ ය.</verse>
				<verse number="5">සෙනඟ විසින් දෙවිඳුන්ගේ නීති නියෝග හා අණපණත් ද ගිවිසුම ද කඩ කරන ලද බැවින් පොළොව දූෂණය වී ඇත.</verse>
				<verse number="6">එබැවින් දෙවිඳුන් පොළොව විනාශ කිරීමට සාපයක් එවා ඇත. ඔව්හු තමන් කළ දේට දැන් වන්දි ගෙවති. ජීවත් වී සිටින සෙනඟගේ ගණන එන්න එන්න අඩුවේගෙන යයි. ඉතිරි වන්නේ ටික දෙනෙකි.</verse>
				<verse number="7">මිදිවැල වියළී යයි; මිදියුස එන්න එන්න හීන වේ; කලින් ප්‍රීතියෙන් සිටි අය දැන් දුකින් කල් යවති.</verse>
				<verse number="8">ඔවුන්ගේ ද වීණා හා බට නළාවල ද ප්‍රීති නාදය දැන් නැවතී ඇත.</verse>
				<verse number="9">ගී ගයමින් මිදිරස බීමක් තවත් නැත. මද්‍යපානය බොන්නන්ට එය දැන් තිත්ත වී ඇත.</verse>
				<verse number="10">නගරයේ සියලු දේ අවුල් ජාලාවකි. කිසිවකු ඇතුළු නොවන පිණිස සියලු ගෙවල් වසාදමා තිබේ.</verse>
				<verse number="11">මිනිස්සු වීථිවල මුද්‍රික පානය ඉල්ලා කෑගසති. ප්‍රීතිය සදහට ම අතුරුදහන් වී ඇත. දේශයෙන් සන්තෝෂය පහ වී ගොස් ඇත.</verse>
				<verse number="12">නගරයේ ඉතිරි ව ඇත්තේ නටබුන් පමණකි. එහි දොරටු කඩා වැටී ඇත.</verse>
				<verse number="13">මුළු ලොවේ සෑම ජාතීන් අතර මෙසේ සිදු වන්නේ ය. එය හරියට ඔලීව ගස්වල ද මිදි වැල්වල ද පල කඩා නිමකළ පසු අවසාන වූ කාලය වැනි ය.</verse>
				<verse number="14">ඉතිරි වන අය ප්‍රීතියෙන් ගී ගයන්නෝ ය. බටහිර සිටින අය සමිඳුන්ගේ මහිමතාව ප්‍රකාශ කරති.</verse>
				<verse number="15">මුහුදු දිවයින්වල වෙසෙන සෙනඟ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුන්ට ප්‍රශංසා කරති.</verse>
				<verse number="16">පොළොවේ සීමාන්තවලින් ධර්මිෂ්ඨ දේශය වන ඉශ්රායෙල් සම්බන්ධයෙන් නඟන ප්‍රශංසා ගී අපට ඇසෙන්නේ ය. එහෙත්, මම කතා කොට, “මට බලාපොරොත්තුවක් නැත; මම ක්ෂය වෙමි; ද්‍රෝහියෝ මා පාවා දෙති. ඔවුන්ගේ ද්‍රෝහිකම දෙගුණ තෙගුණ වේ ය”යි කියමි.</verse>
				<verse number="17">මිහි පිට ජනයෙනි, භයානක දේ ද බොරුවළවල් ද මලපත් ද නුඹලා අසුකරගන්න බලා සිටියි.</verse>
				<verse number="18">භයානක දෙයින් බේරෙන්න සොයන තැනැත්තා බොරු වළක වැටෙන්නේ ය. බොරු වළෙන් ගොඩවන්නා මලපතට අසුවන්නේ ය. මන්ද අහසේ කවුළු විවෘත ව ඇත. පොළොවේ අත්තිවාරම කම්පා වන්නේ ය.</verse>
				<verse number="19">පොළොව දෙදරා, සිඳී, බිඳී යන්නේ ය; පොළොව පැළී යන්නේ ය; පොළොව කම්පා වෙමින් චලනය වන්නේ ය;</verse>
				<verse number="20">පොළොව බේබද්දෙකු මෙන් වැනෙමින්, කුණාටුවකට අසු වූ පැල්පතක් මෙන් සැලෙමින් පවතින්නේ ය. පොළොව පාපයෙන් බර වී ඇත. එය කිසි කලක ගොඩගන්නට බැරි වන ලෙස බිඳී වැටෙන්නේ ය.</verse>
				<verse number="21">උඩ සිටින, ඉහළ අහසේ බල මණ්ඩලවලටත්, පොළොවේ සිටින පාලකයන්ටත්, සමිඳුන් දඬුවම් කරන කාලයක් පැමිණෙන්නේ ය.</verse>
				<verse number="22">හිරකාරයන් වළක හිරකොට තබන්නාක් මෙන් දෙවිඳාණෝ රජවරුන් සිරගත ව තබන සේක. දීර්ඝ කාලයකට පසු ඔවුන්ට දඬුවම් කරන්න එන සේක.</verse>
				<verse number="23">එවිට, හඳ අඳුරු වන්නේ ය; ඉර නොබැබළෙන්නේ ය. මන්ද, සව් බලැති සමිඳුන් රජ වන බැවිනි. එතුමාණෝ ජෙරුසලමේ සියොන් කන්ද මුදුනේ, රජකම් කරන සේක. එතුමන්ගේ තේජාලංකාරය ප්‍රජා මූලිකයන් අබිමුව ප්‍රකාශ වන්නේ ය.</verse>
			</chapter>
			<chapter number="25">
				<verse number="1">සමිඳුනි, ඔබ මා දෙවිඳාණෝ ය. ඔබේ නම ගෞරවයෙන් උසස් කොට පසසන්නෙමි. ඔබ පුදුම දේ කර ඇත. පෙර ඔබ අදහස් කළ දේ විශ්වාස ලෙස ද සැබෑ ලෙස ද ඔබ ඉටු කරන සේක.</verse>
				<verse number="2">ඔබ නගරය සුණු විසුණු කර බලකොටු නටබුන් ගොඩක් කළ සේක. අපේ සතුරන් ගොඩනැඟුවා වූ මාලිගා සදහට ම විනාශ වී ගොස් ඇත. ඒවා කවදාවත් යළි ඉදි නොකරනු ලැබේ.</verse>
				<verse number="3">බලවත් ජාතීන්ගේ සෙනඟ ඔබට ගෞරව කරති. කුරිරු ජාතීන්ගේ නගර ඔබට බිය වෙයි.</verse>
				<verse number="4">දුගී අසරණ අයට ඔබ රැකවරණය වූ සේක; කම්කටොලු ඇති කාලවල දී ඔවුන්ට බලකොටුවක් වූ සේක; කුණාටුවේ දී ආරක්ෂාවත්, තද ග්‍රීෂ්මයේ දී සෙවණත් ඔබ ඔවුන්ට දුන් සේක.</verse>
				<verse number="5">නපුරු අය ශීත සෘතුවේ කුණාටුවක් මෙන් ද වියළි දේශයක නියඟයක් මෙන් ද ඔවුන්ට පහර දෙති. එහෙත් සමිඳුනි, වලාකුළක් තද අවු රශ්මිය පහ කරන්නාක් මෙන් ඔබ අපේ සතුරන් ද නපුරු සෙනඟගේ කෑමොරගැසීම් ද නිහඬ කළ සේක.</verse>
				<verse number="6">සියලු බලැති සමිඳාණන් වහන්සේ මේ සියොන් කන්ද මත සියලු ජාතීන් හට ඉස්තරම් මුද්‍රික පානයෙන් හා රසමසවුලින් යුත් මංගල භෝජනයක් සූදානම් කරන සේක.</verse>
				<verse number="7">මෙහි දී උන් වහන්සේ සියලු ජාතීන් වසාගෙන පැවති දුක නමැති වලාකුළ පහකරන සේක.</verse>
				<verse number="8">මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මරණය සදහට ම විනාශ කරදමන සේක. සියලු මුහුණුවලින් කඳුළු පිසදමන සේක. ලොව මුළුල්ලේ තමන්ගේ සෙනඟට ඇති වී තිබෙන නින්දාව පහකරන සේක. මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ම ය.</verse>
				<verse number="9">එසේ සිදු වූ විට සියලු දෙනා මෙසේ කියනු ඇත. “බලන්න, මේ අපේ දෙවියන් වහන්සේ ය; උන් වහන්සේ අප ගළවා ගන්න සේකැ යි බලාපොරොත්තුවෙන් සිටියෙමු. උන් වහන්සේ අපේ සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේ අප ගළවාගත් බැවින් අපි ප්‍රීති සන්තෝෂ වන්නෙමු.”</verse>
				<verse number="10">සමිඳාණන් වහන්සේ සියොන් කන්ද ආරක්ෂා කරන සේක. එහෙත්, මෝවබ් සෙනඟ කසළ ගොඩේ පිදුරු මෙන් මඩිනු ලබන්නෝ ය.</verse>
				<verse number="11">පීනන්නෙකු පිනන්නට අත් විදහන්නාක් මෙන් ඔව්හු තමන්ගේ අත් විදහා පාන්නෝ ය. එහෙත්, දෙවියන් වහන්සේ ඔවුන්ගේ උඩඟුකම නිසා දක්ෂතාව පහත් කරන සේක. එබැවින් ඔවුන්ගේ ප්‍රයත්න නිෂ්ඵල වනු ඇත.</verse>
				<verse number="12">සමිඳාණන් වහන්සේ උස් පවුරු සමඟ මෝවබ්හි බලකොටු සිඳ බිඳදමන සේක. ඒවා දූවිල්ලෙහි හෙළාදමන සේක.</verse>
			</chapter>
			<chapter number="26">
				<verse number="1">ජුදා දේශයෙහි සෙනඟ මේ ගීය ගයන කාලයක් පැමිණෙන්නේ ය. අපට බලවත් නුවරක් ඇත. කොටු පවුරු බැඳ අප රැකගන්නේ දෙවිඳාණෝ ම ය.</verse>
				<verse number="2">හරි දේ කරන සෙනඟක් වන විශ්වාසවන්ත ජනතාවට දේශයට ඇතුළු වීමට හැකි වන ලෙස වාසල් දොරටු හරිනු මැනව.</verse>
				<verse number="3">තිරසර අරමුණු ඇති ව, ඔබ කෙරෙහි විශ්වාසය තබන සියලු දෙනා හට ම සමිඳුනි, ඔබ සදා ශාන්තිය දෙන සේක.</verse>
				<verse number="4">සදහට ම සමිඳුන් කෙරේ විශ්වාසය තබන්න. එතුමාණෝ ඔබ හැමදා ආරක්ෂා කරන සේක.</verse>
				<verse number="5">එතුමාණෝ උඩඟු අය පහත් කළ සේක; ඔවුන් විසූ බලවත් නගර බිඳ හෙළූ සේක. එහි පවුරු පොඩිපට්ටම් කොට දූවිල්ලට ඇද දැමූ සේක.</verse>
				<verse number="6">පීඩිත වූවෝ ඒ මත දැන් ඇවිදිති. ඔවුන්ගේ පාදවලින් ඔව්හු ඒවා පාගාදමති.</verse>
				<verse number="7">සමිඳුනි, ඔබ දමිටුන්ගේ මාර්ගය සූදානම් කර ඇත; ඔවුන් යන මඟ සමතලා කර ඇත.</verse>
				<verse number="8">අපි ඔබ කැමැත්ත අනුව යමු; අපේ බලාපොරොත්තුව ඔබ කෙරෙහි ය. අපේ මුළු ආසාව ඔබේ නම පැසසුම ය.</verse>
				<verse number="9">රාත්‍රියේ දී මාගේ මුළු සිතින් මම ඔබට ආසා කරමි. ඉතා ආශාවෙන් අලුයම් වේලේ මම ඔබ සොයන්නෙමි. ඔබ පොළොව සහ එහි සෙනඟ විනිශ්චය කරන කල යුක්තිය කුමක් දැ යි ඔව්හු දැනගන්නෝ ය.</verse>
				<verse number="10">දුෂ්ටයන්ට ඔබ කරුණාව පෑවත්, යුක්තිය කුමක් දැ යි ඔව්හු කිසි කලෙක ඉගෙන නොගනිති. දමිටු අය සිටින මේ දේශයෙහි වුව ද තවමත් ඔව්හු වැරදි කරන්නෝ ය. ඔබේ මහිමතාව ඔව්හු නොපිළිගන්නෝ ය.</verse>
				<verse number="11">
					ඔවුන්ට දඬුවම් කිරීමට ඔබේ හස්තය එසවී ඇත.
					එහෙත්, ඔව්හු ඒ බව නොදනිති. සමිඳුනි, ඔවුන් ලජ්ජාවට පමුණුවා ඔවුන් දුකට පත් කළ මැනව. ඔබ අදහස් කළ දඬුවමින් ඔව්හු දුක් විඳිත් වා! ඔබේ සෙනඟට ඔබ කෙතරම් ප්‍රේම කරන සේක් දැ යි ඔවුන්ට පෙන්වුව මැනව.
				</verse>
				<verse number="12">සමිඳුනි, ඔබ අපට සෞභාග්‍යය දෙන සේක. අප ඉෂ්ට කරන හැම දේ ඔබේ ක්‍රියාවේ ප්‍රතිඵලයකි.</verse>
				<verse number="13">අපේ දේව ස්වාමීනි, ඔබ හැර අන් ස්වාමිවරු ද අප පාලනය කළෝ ය. එහෙත්, ඔබ පමණක් ස්වාමීහු ය. ඔබේ නාමය පමණක් අපි පිළිගනිමු.</verse>
				<verse number="14">දැන් ඔවුන් මිය ගොස් ඇත; නැවත ජීවත් වන්නේ නැත. ඔවුන්ගේ අවතාර වත් නැඟිට එන්නේ නැත. ඔවුන්ගේ නාමය සිතින් මැකී ගොස් ඇත.</verse>
				<verse number="15">සමිඳුනි, ඔබ අපේ ජාතිය වර්ධනය කළ සේක; දේශයේ සීමා විශාල කළ සේක. මේ නිසා ඔබට ගෞරවය ලැබී ඇත.</verse>
				<verse number="16">සමිඳුනි, ඔබ සිය සෙනඟට දඬුවම් කළ විට, ඔව්හු දුක් බරින් ඔබ සොයමින් ඔබට යාච්ඤා කළහ.</verse>
				<verse number="17">එසේ ය සමිඳුනි, වේලාව පැමිණි විට, ගර්භණියක ප්‍රසව වේදනාවෙන් කෑගසන්නාක් මෙන් කෑගැසීමට ඔබ අපට සැලැසූ සේක.</verse>
				<verse number="18">ගර්භණියක මෙන් කටුක වේදනා වින්ද නමුත්, අපි කිසිවක් බිහි නොකෙළෙමු; අපේ මවුබිම උදෙසා කිසිදු ජයක් නොලදිමු. කිසි ම දෙයක් ඉෂ්ට නොකෙළෙමු.</verse>
				<verse number="19">
					අපේ මළ ගිය අය නැවත ජීවත් වනු ඇත;
					ඔවුන්ගේ මළ සිරුරු නැවත පණ ගැන්වෙනු ඇත. සොහොන්වල සැතපී සිටින සියලු දෙන පිබිද ප්‍රීතියෙන් ගී ගයත් වා! බැබළෙන පිනි පොළොව ප්‍රාණවත් කරන සේ බොහෝ කලක් මැරී සිටින අය සමිඳාණෝ නැවත පණ ගන්වන සේක.
				</verse>
				<verse number="20">මාගේ සෙනඟෙනි, නුඹලාගේ ගෙවලට ඇතුළු වී, දොරවල් වසාගෙන, දෙවිඳුන්ගේ කෝපය සංසිඳෙන තුරු ස්වල්ප කලක් සැඟවී සිටින්න!</verse>
				<verse number="21">ලෝ වැසි සියලු දෙනාට ඔවුන්ගේ පව් නිසා දඬුවම් කරන පිණිස සමිඳාණෝ වඩින සේක; රහසින් කරන ලද මිනීමැරුම් එළි කරනු ලබන්නේ ය. පොළොව, මැරුම් කෑ අය තවත් නොසඟවන්නේ ය.</verse>
			</chapter>
			<chapter number="27">
				<verse number="1">ඒ දවසේ දී සමිඳාණන් වහන්සේ තමන්ගේ දැඩි, බලවත්, භයානක කඩුවෙන් ශීඝ්‍රයෙන් වක් වෙමින් යන ලෙවියාතන් නම් මුහුදු සර්පයාට දඬුවම් කර, මුහුදේ සිටින දිය රකුසා මරාදමන සේක.</verse>
				<verse number="2">ඒ දවසේ දී සමිඳුන්ගේ පියකරු මිදි වත්ත ගැන මෙසේ කියනු ඇත:</verse>
				<verse number="3">“එහි රැකවරණයාණෝ සමිඳාණන් වන මම ය. මම එය ජලයෙන් නිතර සාරවත් කරන්නෙමි. කිසිවෙකු එයට හානි නොකරන පිණිස මම එය මුර කරන්නෙමි.</verse>
				<verse number="4">කෝප වීමට ඉඩක් නැත; කටු ගොකටු පිරිණි නම්, ඒවා උගුලා, ගිනි තබා විනාශ කරන්න තිබිණි.</verse>
				<verse number="5">එයට දෙන ආරක්ෂාවට ගරුකර, මා සමඟ සාමය ඇති කරගනිත් වා! මා සමඟ සාමය ඇති කරගනිත් වා!”</verse>
				<verse number="6">ඒ දවසේ දී ජාකොබ්ගේ පරම්පරාව වන ඉශ්රායෙල් සෙනඟ දලු ලා මල් හටගන්න ගසක් මෙන් මුල් ඇදගන්නේ ය. පොළොව පලදාවෙන් පිරී යන්නේ ය.</verse>
				<verse number="7">ඉශ්රායෙල්වරුන්ගේ සතුරන්ට සමිඳුන් දැඩි ලෙස දඬුවම් කළාක් මෙන් ඉශ්රායෙල්ටත් දඬුවම් කර ඇද් ද? ඔවුන් මරණයට පත් කළ සතුරන් විනාශ කළාක් මෙන් ඔවුනුත් විනාශ කර ඇද් ද?</verse>
				<verse number="8">සමිඳාණෝ සිය සෙනඟ වහල්කමට යවමින් ඔවුන්ට දඬුවම් කළ සේක; නැගෙනහිරින් හැමූ අකුණු සුළඟකින් ඔවුන් පහකර දැමූ සේක.</verse>
				<verse number="9">විජාතීන්ගේ පූජාසනවල සියලු ගල් රටහුණු මෙන් අඹරාදැමූ පසු ද අෂේරා කප් කණු, දුම් පූජාසන හා හිරු දෙවි රූප තවත් ඉතුරු නොවූ පසු ද ඉශ්රායෙල්ගේ පව් කමා කරනු ලබන්නේ ය.</verse>
				<verse number="10">බලකොටුවලින් ආරක්ෂා කරන ලද නුවර නටබුන් වී ඇත; පාළු කාන්තාරයක් මෙන් එය ජනහීන වී ඇත. වස්සා එහි තණ කනු ඇත; එහි ලැග අතු බුදිනු ඇත.</verse>
				<verse number="11">ගස්වල අතු වියළී කැඩී ගොස් ඇත. ස්ත්‍රීහු ඒවා දරට එකතු කරති. සෙනඟ කිසිවක් තේරුම්ගෙන නැති නිසා, ඔවුන්ගේ මැවුම්කාර දෙවිඳුන් ඔවුන්ට අනුකම්පා කරන්නේ වත්, දයාවපාන්නේ වත් නැත.</verse>
				<verse number="12">ඒ දවසේ දී සමිඳාණන් වහන්සේ ම රටේ එක කොණක සිට අනික් කොණ දක්වා, යුප්‍රටීස් සිට නයිල් ගඟ දක්වා උන් වහන්සේගේ ඉශ්රායෙල් සෙනඟ රැස් කොට විනිශ්චයය කරන සේක. උන් වහන්සේ හොඳ ධාන්‍ය බොල්වලින් වෙන් කරන්නාක් මෙන් සුදනන් දුදනන්ගෙන් වෙන් කරන සේක.</verse>
				<verse number="13">ඒ දවස පැමිණි විට අසිරියාවේ හා මිසරයේ වහල්කමට ගෙන යන ලද සියලු ඉශ්රායෙල් සෙනඟ ආපසු ගෙනෙනු ලබන පිණිස හොරණෑවක් පිඹිනු ලබන්නේ ය. ඔවුන් ජෙරුසලමට අවුත් උන් වහන්සේගේ මේ ශුද්ධ කන්දේ දී උන් වහන්සේට නමස්කාර කරනු ඇත.</verse>
			</chapter>
			<chapter number="28">
				<verse number="1">ඉශ්රායෙල් රාජ්‍යයට වන විපතක මහත! ඔවුන්ගේ උඩඟු හිස්වල තේජාලංකාරය මල් කිරුළු මෙන් පරවී යන්නේ ය. එහෙත්, ඔව්හු හොඳට ම වෙරි වී වැතිර සිටිති.</verse>
				<verse number="2">ඔවුන්ට පහර දෙන පිණිස සමිඳුන් ශක්තිමත්, බලවත් කෙනෙකු සූදානම් කර ඇත. ඔහු, ගල් වැස්සක් මෙන් ද වැහි කුණාටුවක් මෙන් ද ගසාගෙන යන මහා ජල ගැලීමක් මෙන් ද මුළු දේශය සම්පූර්ණයෙන් යටත් කරන්නේ ය.</verse>
				<verse number="3">බේබදු නායකයන්ගේ අහංකාරය පයින් පාගනු ලබන්නේ ය.</verse>
				<verse number="4">ඒ අහංකාර නායකයන්ගේ තේජස පරවී යන මලක් මෙන් මැලවී යන්නේ ය; අත්තික්කා වාරයේ පළමුවෙන් හටගෙන ඉදුණු පල නෙළාගත් වහා ම කාදමනු ලබන්නාක් මෙන් පහ ව යන්නේ ය.</verse>
				<verse number="5">සව් බලැති සමිඳුන් ඉතිරි ව සිටින තමන්ගේ සෙනඟට තේජාලංකාර මල් කිරුළක් ද දීප්තිමත් කිරීටයක් ද මෙන් වන කාලයක් පැමිණෙන්නේ ය.</verse>
				<verse number="6">එතුමාණෝ විනිශ්චයකාරයන්ට යුක්තිය පිළිබඳ හැඟීමක් ද නගරයේ දොරටුවලට පහර දෙන සතුරන් පලවා හරින අයට ධෛර්යය ද දෙන සේක.</verse>
				<verse number="7">දිවැසිවරුන් හා පූජකයෝ පවා කෙළින් සිටින්න බැරි තරම් වෙරිමත් වී වැනෙති. ඔවුන් මුද්‍රික පානය හා සුරා පානය කොතරම් බී ඇද්දැ යි කීවොත්, ඔව්හු වියවුල් වී පැකිළෙන්නෝ ය. දෙවිඳුන් එවන දර්ශන තේරුම්ගන්න නොහැකි තරමට දිවැසිවරු වෙරි වී සිටිති. පූජකයන් වෙත ගෙනෙන නඩු විභාග කිරීමට නොහැකි තරමට පූජකයෝ වෙරි වී සිටිති.</verse>
				<verse number="8">ඔවුන් වාඩි වී සිටින මේස වමනයෙන් පිරී ඇත; පිරිසිදු එක ම තැනක් වත් නැත.</verse>
				<verse number="9">ඔව්හු මට චෝදනා කරමින් මෙසේ කියති: “ඔහු දහම උගන්වන්න එන්නේ කාට ද? ඔහුගේ පණිවුඩය වුවමනා කාට ද? එය සුදුසු වන්නේ කිරි වැරූ දරුවන්ට පමණ යි.</verse>
				<verse number="10">ඔහු උත්සාහ කරන්නේ දරුවන්ට මෙන් අපට පේළියෙන් පේළියට පාඩමෙන් පාඩම උගන්වන්න යි.”</verse>
				<verse number="11">
					මේ සෙනඟ මට සවන් දෙන්නේ නැත්නම්, ඔවුන්ට පාඩමක් උගන්වන පිණිස අමුතු භාෂාවක් කතා කරන විදේශිකයන් දෙවිඳුන් පාවිච්චි කරනු ඇත.
				</verse>
				<verse number="12">වෙහෙස වූ ඔබට විවේකයත්, සැප පහසුවත් දෙන්න එතුමන් පොරොන්දු වූ නමුත්, එතුමන්ට සවන් දෙන්න ඔබ කැමැති නොවූවහු ය.</verse>
				<verse number="13">ඒ නිසා සමිඳාණෝ, ඔබට අකුරෙන් අකුර, පේළියෙන් පේළිය, පාඩමෙන් පාඩම, උගන්වන්න යන සේක. එවිට ඔබ ගන්න පියවරෙන් පියවර පැකිළෙන්නහු ය. ඔබ තුවාළ ලබන්නහු ය; මලපතකට අසු වී හිරකරුවන් මෙන් ගෙනයනු ලබන්නහු ය.</verse>
				<verse number="14">ජෙරුසලමේ සිටින, එහි සෙනඟ පාලනය කරන අහංකාර මනුෂ්‍යයෙනි, සමිඳුන් වදාරන වචනයට සවන් දෙන්න.</verse>
				<verse number="15">ඔබ මරණය සමඟ ගිවිසුමක් කර ඇතැ යි ද පාතාල ලෝකය සමඟ එකඟත්වයකට පත්වී ඇතැ යි ද පාරට්ටු කරගන්නහු ය. ඔබේ ආරක්ෂාව සඳහා ඔබ බොරුවත්, වංචාවත් කෙරෙහි විශ්වාසය තබා ඇති බැවින් විපත්ති පැමිණෙන විට එයින් ඔබ බේරෙනු ඇතැ යි ඔබ සිතන්නහු ය.</verse>
				<verse number="16">
					ඒ නිසා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ඔබට මෙසේ වදාරන සේක:
					“තිරසර සවි ශක්ති ඇති අත්තිවාරමක් මම සියොන්හි තබන්නෙමි. එහි මම අනගි කොන් ගලක් තබන්නෙමි. එහි මේ වචන කොටා ඇත: ‘තිර ඇදහිල්ල ඇත්තෝ නොසැලෙති.’
				</verse>
				<verse number="17">අත්තිවාරම මනින ලණුව යුක්තිය නම් වේ. ලඹ ලණුව අවංකකම නම් වේ. නුඹලා විශ්වාසය තබා ඇති බොරු සියල්ල ගල් වර්ෂාවට ගසාගෙන යන්නේ ය; නුඹලාගේ ආරක්ෂාව ජල ගැල්මෙන් විනාශ වන්නේ ය.”</verse>
				<verse number="18">එවිට ඔබ මරණය සමඟ කරගත් ගිවිසුම කඩ කරන්නහු ය; පාතාල ලෝකය සමඟ කරගත් එකඟත්වය අවලංගු කරන්නහු ය. කඩාගෙන, බිඳගෙන එන විපත්තිය පැමිණි විට ඔබ එයින් ගසාගෙන යනු ලබන්නහු ය.</verse>
				<verse number="19">එයින් ඔබට නැවත නැවත, උදයක් උදයක් පාසා පහර වදින්නේ ය. රෑ දාවල් දෙක්හි එය විඳින්න ඔබට සිදු වන්නේ ය. මේ ගැන දෙවිඳුන්ගෙන් පණිවුඩයක් ලැබෙන සැම විට ම ඔබ භීතියෙන් ඇලළී යන්නහු ය.</verse>
				<verse number="20">ඔබ වනාහි දිගා වන්න බැරි ඇඳේ දිගා වීමට හදන, පටු ඇතිරිල්ල පොරවා ගන්න යන මිනිසා හා සමාන ය.</verse>
				<verse number="21">
					සමිඳාණෝ තමන් කරන්න අදහස් කළ පුදුම ක්‍රියා මෙන් පෙනෙන දේ ඉෂ්ට කරන පිණිස,
					පෙරාශිම් කන්දේ දී හා ගිබියොන් මිටියාවතේ දී සටන් කළාක් මෙන් සටන් කරන සේක. එය අබිරහස් ක්‍රියාවකි.
				</verse>
				<verse number="22">මා ඔබට දෙන අනතුරු ඇඟවීම් ගැන ඉතින් සරදම් නොකරන්න. ඔබේ අත්අඩංගු තවත් තද වනු ඇත. මුළු දේශය විනාශ කිරීමට සව් බලැති සමිඳුන් කර ඇති තීරණය මා අසා ඇත.</verse>
				<verse number="23">ඔබ කන් යොමුකර මා කියන දේට සවන් දෙන්න; මාගේ පණිවුඩය අසන්න.</verse>
				<verse number="24">කිසි ම ගොවියෙක් වපුරන පිණිස සෑම දා ම කෙත හාමින්, සූදානම් කරමින් කල් නොයවන්නේ ය.</verse>
				<verse number="25">කෙත සූදානම් කරගත් විට, ඔහු කොල්ලු හා දුරු එහි වපුරන්නේ ය. තිරිඟු හා බාර්ලි පේළි වශයෙන් එහි සිටුවන්නේ ය. කෙතේ මායිම්හි සෙසු වර්ගවල බීජ පැළ කරන්නේ ය.</verse>
				<verse number="26">දෙවිඳුන් ඔහුට උගන්වා ඇති බැවින් තමාගේ වැඩය කිරීමට ඔහු දනියි.</verse>
				<verse number="27">උළුහාල් සුද්ද කරන පිණිස බර මුගුරක් වත්, කරත්ත රෝදයක් වත් පාවිච්චි කරන්නේ නැත. ඒ වෙනුවට සුදුසු ප්‍රමාණයේ සැහැල්ලු කෝටු පාවිච්චි කරයි.</verse>
				<verse number="28">ඔහු තිරිඟු පමණට වඩා පාගා ඒවා නාස්ති කරන්නේ නැත. ධාන්‍ය කුඩු නොවන ලෙස රථයකින් ඒවා පාගන්න ඔහු දනියි.</verse>
				<verse number="29">මේ සියලු ප්‍රඥාව පැමිණෙන්නේ සව් බලැති දෙවිඳුන්ගෙන් ය. එතුමන්ගේ සැලසුම් ප්‍රඥාවන්ත ය. ඒවා නිරතුරු සාර්ථක වනු ඇත.</verse>
			</chapter>
			<chapter number="29">
				<verse number="1">දෙවිඳුන්ගේ පූජාසනය වන ජෙරුසලම, ඔබට වන විපතක මහත! දාවිත් රජු කඳවුරු බැඳගෙන සිටි නගරයට වන විපතක මහත! මංගල්‍යයන් හා පූජා උත්සවයන් සමඟ තවත් අවුරුද්දක් දෙකක් ගත වුණාවේ.</verse>
				<verse number="2">ඉන්පසු දෙවිඳුන්ගේ පූජාසනය ලෙස හැඳින්වෙන ජෙරුසලම පිට එතුමාණෝ විපත්තිය පමුණුවන සේක. එකල හැඬීමත් වැලපීමත් ඇති වන්නේ ය. නගරය වුව ද, පූජාසනයක් බවට හරවනු ලැබ එය ගල්වලින් වැසී යන්නේ ය.</verse>
				<verse number="3">දෙවිඳාණෝ නගරයට පහර දී බලකොටු සමඟ එය වටලන සේක.</verse>
				<verse number="4">ජෙරුසලම, පොළොව යට සිට කතා කරන්න දඟලන අවතාරයක් මෙන් ද දූවිල්ලෙන් නැඟී එන මුකවාඩමක් දමන ලද හඬක් මෙන් ද වන්නේ ය. ගැඹුරු පොළෝ තලයෙන් ඔබේ හඬ ඇසෙන්නේ ය; දූවිල්ල යටින් ඔබේ වචන නික්මෙන්නේ ය.</verse>
				<verse number="5">එහෙත්, එම්බා ජෙරුසලම! ඔබට පහර දෙන විදේශීන් සියලු දෙන දූවිල්ල මෙන් ගසාගෙන යනු ඇත; ඔවුන්ගේ භයානක හමුදා පිදුරු මෙන් පහ වී යනු ඇත.</verse>
				<verse number="6">සව් බලැති සමිඳාණෝ ගර්ජනාවෙන් ද මහත් ශබ්දයකින් ද සුළි සුළඟකින් ද කුණාටුවකින් ද විනාශකාරී ගින්නකින් ද ප්‍රකාශ වන සේක.</verse>
				<verse number="7">එවිට දෙවිඳුන්ගේ පූජාසනය වන නුවරට පහර දෙන ජාතීන්ගේ සියලු හමුදා ද ඔවුන්ගේ අවි ආයුධ හා උපකරණ සියල්ල ද සිහිනයක් මෙන්, රාත්‍රියේ මවාගත් සිතිවිලි මාත්‍රයක් මෙන්, පහ වී යනු ඇත.</verse>
				<verse number="8">ජෙරුසලමට පහර දෙන්න රැස්වන සියලු ජාතීහු සිහිනෙන් කෑම කා, බඩගින්නෙන් ඇවිදින, සාගින්නෙන් පෙළෙන, මිනිසෙකු හා සමාන වෙති. නැතහොත්, සිහිනෙන් වතුර බී, වියළි උගුරක් ඇති ව ඇවිදින, පිපාසයෙන් මිය ඇදෙන, මිනිසෙකු හා සමාන වෙති.</verse>
				<verse number="9">ඉබාගාතේ ඇවිද ක්ලාන්ත වන්න; සැප විඳ අන්ධ වන්න; මඳක් වත් මිදියුස නොබී මත් වන්න; බිඳක් වත් නොබී වැනි වැනී යන්න.</verse>
				<verse number="10">
					සමිඳුන් ඔබ තද නින්දට වැටෙන ලෙස ඔබ කෙරෙහි නිදිබර ගතිය ඇතිකර තිබේ.
					දිවැසිවරුන් සෙනඟගේ දෙනෙත් මෙන්, විය යුතු නමුත්, දෙවිඳුන් ඔවුන්ගේ ඇස් බැඳ ඇත. බොරු දිවැසිවරුන්ගේ මොළය අවුල්කර ඇත.
				</verse>
				<verse number="11">හැම දිවැස් දර්ශනයක ම තේරුම ඔබෙන් සඟවා ඇත. එය බැඳ මුද්‍රා කරන ලද පොතක් හා සමාන ය. එය අකුරු දන්න කෙනෙකු වෙත ගෙන ගොස්, එය කියවන ලෙස ඔහුගෙන් ඉල්ලූ විට, එය මුද්‍රාකර ඇති නිසා කියවිය නොහැකි යයි ඔහු කියනු ඇත.</verse>
				<verse number="12">අකුරු නොදන්න කෙනෙකු වෙත ගෙන ගොස් එය කියවන ලෙස ඔහුගෙන් ඉල්ලූ විට එය කියවන්න ඔහු නොදනිති යි ඔහු කියනු ඇත.</verse>
				<verse number="13">
					සමිඳාණෝ මෙසේ වදාළ සේක:
					“මේ සෙනඟ මට නමස්කාර කරන්නේ වචනයෙන් පමණකි. ඔවුන්ගේ සිත් මා වෙත යොමු වී නැත. ඔවුන්ගේ ආගම වනාහි කටපාඩම් කරගත් මනුෂ්‍ය නීතිරීති හා පාරම්පරික සම්ප්‍රදායයෝ පමණකි.
				</verse>
				<verse number="14">
					එබැවින් ඔවුන් නොපැතූ අරුමපුදුම දේ මම කරන්නෙමි;
					ඔවුන්ගේ ඥානවන්තයන්ගේ තේරුම්ගැනීමේ ශක්තිය නැති වී යන්නේ ය; ඔවුන්ගේ උගත්තු නූගත්තු වන්නෝ ය.”
				</verse>
				<verse number="15">තමන්ගේ අදහස් සඟවාගන්න උත්සාහ කරන අයට වන විපතක මහත! ඔව්හු රහසේ තමන්ගේ උපායයන් යොදමින්, කිසිවෙකු ඔවුන් දකින්නේ වත්, ඔවුන් කරන දේ දැන ගන්නේ වත් නැතැ යි සිතති.</verse>
				<verse number="16">
					ඔව්හු කාරණා නොපිට පෙරළති.
					වඩා වැදගත් වන්නේ කුම්භකාරයා ද මැටි ද? මිනිසෙකු සෑදූ දෙයකට, ‘නුඹ මා සෑදුවේ නැත’ කියා හෝ ‘නුඹ කරන දේ නුඹ නොදන්නෙහි ය’ කියා හෝ මිනිසා අමතමින් කිව හැකි ද?
				</verse>
				<verse number="17">එසේ කීම, ‘වනයක් උයනක් බවට ද උයනක් වනයක් බවට ද පත්වීම වැනි ය’ යන කියමනට සමාන ය.</verse>
				<verse number="18">ඒ දවස පැමිණි විට පොතකින් කියවන විට බිහිරන්ට ඇසෙනු ඇත. අඳුරෙහි ජීවත් වූ අන්ධයින්ට ඇස් පෙනීම ලැබෙනු ඇත.</verse>
				<verse number="19">දුප්පත් සහ යටහත් පහත් අය ඉශ්රායෙල්හි ස්වාමීන් වන ශුද්ධ තැනැන් වහන්සේ දෙන ප්‍රීතිය නැවත ලබන්නෝ ය.</verse>
				<verse number="20">ඒ දවස වනාහි බලහත්කාරකම් කරන, දෙවිඳුන්ට අපහාස කරන අයගේ අවසානය වේ. හැම පව්කාරයෙක් ම විනාශ කරනු ලබයි.</verse>
				<verse number="21">අනුන්ට වචනයෙන් නින්දා කරන අය ද අපරාධකාරයන් ලැබිය යුතු දඬුවමින් ඔවුන් වළක්වන අය ද අවංක අයට යුක්තිය නොලැබෙන සේ බොරු කියන අය ද දෙවිඳාණෝ විනාශ කරන සේක.</verse>
				<verse number="22">ආබ්‍රහම් විපතින් මුදාගත් ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් වන සමිඳාණෝ දැන් මෙසේ වදාරන සේක: “මාගේ සෙනඟෙනි, තවත් නුඹලා ලජ්ජාවට පත් කරනු නොලබන්නහු ය. නුඹලාගේ මුහුණ ලජ්ජාවෙන් සුදුමැළි නොවන්නේ ය.</verse>
				<verse number="23">මා නුඹලාට දෙන දරුවන් නුඹලා දකින්නහු ය. එවිට මා, ඉශ්රායෙල්හි ශුද්ධ තැනැන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය. නුඹලා මට ගෞරව කොට මා කෙරෙහි ගරුබියෙන් සිටින්නහු ය.</verse>
				<verse number="24">වියවුල් ව සිටින අයට තේරුම්පැහැදුම් ඇති වන්නේ ය. මැසිවිලි කියන අය ඉගෙනගන්න සතුටු වන්නෝ ය.”</verse>
			</chapter>
			<chapter number="30">
				<verse number="1">සමිඳාණෝ මෙසේ වදාළ සේක: “ජුදා දේශය පාලනය කරන අය මට විරුද්ධ ව කැරලි ගසන බැවින් ඔවුන්ට වන විපතක මහත! ඔව්හු පව් පිට පව් කරමින් මා නොකළ සැලසුම අනුගමනය කරති. මාගේ කැමැත්තට විරුද්ධ ව ගිවිසුම්වලට අත්සන් කරති.</verse>
				<verse number="2">මාගෙන් උපදෙස් නොගෙන ඔව්හු උපකාර ලබන පිණිස මිසරයට යති. ඔවුන් මිසරයේ ආරක්ෂාව පතන නිසා එහි රජවරුන්ගේ රැකවරණය කෙරෙහි ඔව්හු විශ්වාසය තබති.</verse>
				<verse number="3">එහෙත්, ඔවුන් උදව් පතන රජු ද රැකවරණය පතන මිසරය ද ඔවුන් නින්දාවට හා විපතට පත් කරනු ඇත.</verse>
				<verse number="4">ඔවුන්ගේ තානාපතීන් දැනටමත් ශොවන් හා හානේස් නම් මිසරයේ නගරවලට පැමිණ ඇත.</verse>
				<verse number="5">එහෙත්, ජුදාවේ සෙනඟ විශ්වාස කළ නොහැකි පිහිට උපකාර බලාපොරොත්තු වූ නමුත්, එය දීමට නොහැකි ජාතියක් කෙරෙහි විශ්වාසය තැබූ නිසා ඔව්හු ශෝකයට හා විපතට පත් වන්නෝ ය.”</verse>
				<verse number="6">දකුණු දිග පාළුකරයේ මෘගයන් ගැන දෙවිඳුන්ගේ පණිවුඩය මෙසේ ය: “සිංහයන් ද විසකුරු සර්පයන් ද ඉගිලෙන ගිනි සර්පයන් ද සිටින භයානක දේශයක් මැදින් තානාපතීහු ගමන් කරති. ඔව්හු කොටළුවන් ද ඔටුවන් ද පිට අනර්ඝ වටිනා තෑගි බෝග පටවාගෙන ඔවුන්ට පිහිට උපකාර දිය නොහැකි ජාතියක් වෙත යති.</verse>
				<verse number="7">මිසරය දෙන උපකාරයෙන් වැඩක් නැත. ඒ නිසා මා මිසරයට, ‘පඹ මකරා ය’යි කවට නමක් දී ඇත.”</verse>
				<verse number="8">සෙනඟගේ ස්වභාවය සම්බන්ධයෙන් ඔවුන්ට විරුද්ධ ව ගල් පුවරුවක සටහන් කරන්න. ඔවුන් ගැන විස්තරයක් අනාගතයට සදා සාක්ෂියක් මෙන් පවතින ලෙස පොතක ලියා තබන්න කියා දෙවිඳාණෝ මට වදාළ සේක.</verse>
				<verse number="9">ඔව්හු හැම වේලේ ම දෙවිඳුන්ට විරුද්ධ ව කැරලි ගසති; හැම වේලේ ම බොරු කියති; හැම වේලේ ම සමිඳුන්ගේ ඉගැන්වීම්වලට සවන් දෙන්න අකමැති වෙති.</verse>
				<verse number="10">ඔව්හු දිවැසිවරුන්ට නිහඬ වන්න කියමින් මෙසේ කියති: “හරි දේ ගැන අපට කතා නොකරන්න; අපට අසන්න ආසා දේ ගැන පමණක් කතා කරන්න; අපේ සිහින සිතුම්පැතුම් තබාගන්න අපට ඉඩ දෙන්න.</verse>
				<verse number="11">අපේ මාර්ගයෙන් ඉවත් ව අපේ ගමනට බාධා නොකරන්න. ඉශ්රායෙල්හි සුවිශුද්ධ දෙවිඳුන්, ගැන ඇසීමට අපට වුවමනාවක් නැත.”</verse>
				<verse number="12">එහෙත්, ඉශ්රායෙල්හි සුවිශුද්ධ දෙවිඳුන් වදාරන දේ මෙසේ ය: “නුඹලා මා කියන දේ නොසලකා බලහත්කාරයත්, වංචාවත් කෙරෙහි විශ්වාසය තබන්නහු ය.</verse>
				<verse number="13">නුඹලා වරදකාරයෝ ය; නුඹලා උඩ සිට පහළට පුපුරා, ඉදිරියට නෙරා ඇති, හදිසියේ බිඳ වැටීමට ළඟා වූ බිත්තියක් හා සමාන ය.</verse>
				<verse number="14">නුඹලා ලිපකින් ගිනි අඟුරු ගන්න වත්, පොකුණකින් වතුර බිඳක් ගන්න වත් සෑහෙන තරමට කැබැල්ලක් ඉතිරි නොවන ලෙස පොඩිකරන ලද මැටි භාජනයක් හා සමාන ය.”</verse>
				<verse number="15">ඉශ්රායෙල්හි සුවිශුද්ධ මහෝත්තම දෙවි ස්වාමීන් සිය සෙනඟට කතා කොට, “ආපසු හැරී අවුත් සන්සුන් ව මා කෙරෙහි අදහාගන්න. එවිට නුඹලා ගැළවී, සුරක්ෂිත ව සිටින්නහු ය”යි වදාරන සේක. එහෙත්, නුඹලා එය ප්‍රතික්ෂේප කළහු ය.</verse>
				<verse number="16">ඒ වෙනුවට ශීඝ්‍රයෙන් දුවන අශ්වයන් පිට නැඟී, සතුරන්ගෙන් බේරී යමු යි කියමින්, නුඹලා ගැළවෙන්න උත්සාහ කරන්නහු ය. නුඹලා බේරී පලා යා යුතු බව නම් සැබෑ ය. නුඹලාගේ අශ්වයන් වේගයෙන් දුවති යි නුඹලා සිතන නමුත්, නුඹලා ලුහුබැඳ එන්නෝ ඊට වඩා වේගයෙන් එන්නෝ ය.</verse>
				<verse number="17">එක සතුරෙකු දුටු විට නුඹලාගෙන් දහසක්දෙනා පලා යන්නෝ ය. කන්දක් උඩ හුදකලා ව තිබෙන ධජ සංකේතයක් හැර නුඹලාගේ හමුදාවෙන් කිසිවක් ඉතිරි වන්නේ නැත.</verse>
				<verse number="18">සමිඳාණෝ නුඹලාට කරුණාව පාන්නට බලා සිටින සේක. එතුමාණෝ සෑම වේලේ ම හරි දේ කරන බැවින් නුඹලාට දයාව දක්වන්න සූදානම් ව සිටින සේක. එතුමන් අදහන්නෝ භාග්‍යවන්තයෝ ය.</verse>
				<verse number="19">ජෙරුසලමේ සිටින සෙනඟෙනි, ඔබ තවත් අඬන්නේ නැත. සමිඳාණන් වහන්සේ දයාන්විත ය. ඔබේ මොරගැසීමට උන් වහන්සේ සවන් දී ඔබට පිළිතුරු දෙන සේක.</verse>
				<verse number="20">සමිඳාණන් වහන්සේ විපත නමැති කෑම ද, පීඩා නමැති වතුර ද ඔබට දෙන නමුත්, ඔබට උගන්වන පිණිස උන් වහන්සේ ම ඔබ සමඟ වැඩ සිටින සේක. උන් වහන්සේ සොයා යාමට ඔබට වුවමනාවක් ඇති නොවේ.</verse>
				<verse number="21">ඔබ මාර්ගයෙන් දකුණට හෝ වමට හෝ හැරී නොමඟ යන විට, “මෙන්න හරි මාර්ගය, මෙහි ඇවිදින්නැ”යි කියන හඬක් ඔබට පිටුපසින් ඇසෙනු ඇත.</verse>
				<verse number="22">රිදීයෙන් ද රනින් ද ඔප දමන ලද දේව රූප ගෙන, “නුඹලා අපෙන් ඉවත් වෙත්වා”යි කියමින් ඔබ ඒවා කුණු කසළ මෙන් විසිකර දමන්නහු ය.</verse>
				<verse number="23">ඔබ බීජ වැපුරූ කල ඒවා වැඩෙන පිණිස සමිඳාණන් වහන්සේ වර්ෂාව එවන සේක. උන් වහන්සේ ඔබට සාරවත් මහා අස්වැන්නක් දෙන සේක. ඔබේ ගවයන්ට ගොදුරු පිණිස විශාල තණ බිම් ඇති වන්නේ ය.</verse>
				<verse number="24">බිම් හාන ගවයෝ ද කොටළුවෝ ද ඉතාමත් පෝෂ්‍යදායක ආහාර කන්නෝ ය.</verse>
				<verse number="25">ඔබේ සතුරන්ගේ බලකොටු වැටී, සතුරන් මරාදමන දවසේ දී, පර්වත හා කඳු මුදුන්වලින් ජලධාරා ගලා එන්නේ ය.</verse>
				<verse number="26">සමිඳාණන් වහන්සේ තමන් සෙනඟට පහර දීමෙන් ඇතිකළ තුවාළ බැඳ සුව කරන දවසේ දී හඳ එළිය ඉර එළිය මෙන් ද, ඉර එළිය සත් ගුණයකින් වැඩි වී සත් දවසක එළිය එක් වූවාක් මෙන් ද බැබළෙන්නේ ය.</verse>
				<verse number="27">සමිඳුන්ගේ බලය හා තේජස දුර තියා ම පෙනෙන්නේ ය. ගින්න හා ඉන් නඟින දුම් එතුමන්ගේ උදහස දක්වන්නේ ය. කතා කළ විට එතුමන්ගේ වචන දැවෙන ගින්නක් හා සමාන වන්නේ ය.</verse>
				<verse number="28">සියල්ල ගසාගෙන යන ජලගැල්මක් මෙන් එතුමාණෝ තමන්ට පෙරටුවෙන් සුළඟක් එවන සේක. ඒ සුළඟින් ජාතීන් විනාශ වී ඔවුන්ගේ නපුරු උපායයෝ කෙළවර වන්නෝ ය.</verse>
				<verse number="29">එහෙත්, දෙවිඳුන්ගේ සෙනඟ වන ඔබ, ප්‍රීතියෙන් පිනා යන්නහු ය; ශුද්ධ මංගල්‍ය පවත්වන රාත්‍රියේ දී මෙන් ගී ගයන්නහු ය; ඉශ්රායෙල්හි ආරක්ෂකයාණන් වන සමිඳුන්ගේ මාලිගාවට යන මාර්ගයේ නළා තාලයට පියවර නඟන අය මෙන් ප්‍රීති වන්නහු ය.</verse>
				<verse number="30">සමිඳාණන් වහන්සේ තමන්ගේ මහිමාන්විත හඬ සියල්ලන්ට ඇසෙන්නට සලස්වා තමන්ගේ උදහසේ තද පරුෂකම සියල්ලන්ට දැනෙන්නට සලස්වන සේක. එවිට ගිනි දලු ද ධාරානිපාත වර්ෂාව ද වැහි කුණාටු ද ගල් වර්ෂා ද ඇති වන්නේ ය.</verse>
				<verse number="31">දෙවියන් වහන්සේගේ හඬ අසා, උන් වහන්සේගේ දඬුවමේ පහරට ගොදුරු වන විට අසිරියන්වරු භීතියෙන් ඇලළී යන්නෝ ය.</verse>
				<verse number="32">සමිඳාණන් වහන්සේ නැවත නැවත අසිරියන්වරුන්ට පහර දෙන අතර, උන් වහන්සේගේ සෙනඟ රබන් හා වීණා නාදය අනුව ප්‍රීති වන්නෝ ය. දෙවියන් වහන්සේ සිය බලය මෙහෙයවමින් අසිරියන්වරුන්ට විරුද්ධ ව සටන් කරන සේක.</verse>
				<verse number="33">මීට කලකට පෙර අසිරියාවේ රජ්ජුරුවන් පුළුස්සාදමන මහා ගින්නක් ඇති තැනක් සූදානම්කර තිබුණේ ය. එය ඉතා ගැඹුරු ය, පළල් ය. එහි උසට දර ගොඩ ගසා ඇත. එහි ගිනි දල්වන පිණිස සමිඳාණන් වහන්සේ ගිනි වැනි හුස්මක් ඒ පිට හෙළන සේක.</verse>
			</chapter>
			<chapter number="31">
				<verse number="1">උපකාර ලබන පිණිස මිසරයට යන අයට වන විපතක මහත! ඔව්හු අශ්වයන්, අශ්ව රථ සහ හේවායන් ඇති, සිව්රඟ හමුදා බලය කෙරෙහි විශ්වාසය තබති. එහෙත්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වන සමිඳුන් කෙරෙහි ඔව්හු තමන්ගේ විශ්වාසය නොතබති; සමිඳුන්ගේ උපදෙස් නොසොයති.</verse>
				<verse number="2">එතුමාණන් කරන දේ, එතුමාණෝ හොඳින් දන්න සේක. එතුමාණෝ විනාශය එවන සේක. දුෂ්ටයන්ට ද ඔවුන් ආරක්ෂා කරන අයට ද දඬුවම් කරන බවට එතුමන් කරන තර්ජන ඉටුකරන සේක.</verse>
				<verse number="3">මිසරවාසීහු දෙවිවරු නොවෙති. ඔව්හු මනුෂ්‍යයෝ ය. ඔවුන්ගේ අශ්වයන්ට අලෞකික බලයක් නැත; ඔව්හු ඇට මස්වලින් යුක්ත ය. සමිඳුන් ක්‍රියා කරන විට බලවත් ජාතිය විනාශ වන්නේ ය. එයින් උදව් ලැබූ බෙලහීන ජාතිය ද වැටෙන්නේ ය. ඒ ජාති දෙක ම විනාශ කරනු ලබන්නෝ ය.</verse>
				<verse number="4">සමිඳාණෝ මට මෙසේ වදාළ සේක: “සතෙකු ගොදුරු කරගත් සිංහයෙකු හෝ සිංහ පොව්වෙකු හෝ එඬේරුන් කොතරම් කෑමොරගැසුවත් බියගන්වා එළවාදමන්නට ඔවුන්ට නොහැකි ය. එමෙන් ම සියොන් කන්ද ආරක්ෂා කිරීමෙන් සව් බලැති සමිඳුන් වන මා වැළැක්විය හැකි කිසිවෙක් නැත.</verse>
				<verse number="5">කුරුලු පැටවුන් ආරක්ෂා කරන පිණිස කුරුල්ලෙකු ඉහළින් පියාසර කරන්නාක් මෙන් සව් බලැති සමිඳාණන් වන මම ජෙරුසලමට රැකවරණය දී, එය රැක බලා, ආරක්ෂාකර මුදාගන්නෙමි.</verse>
				<verse number="6">“ඉශ්රායෙල් වැසියෙනි, නුඹලා මට විරුද්ධ ව පව් කොට මා ප්‍රතික්ෂේප කළහු ය. දැන් ඉතින් මා වෙත හැරී එන්න.</verse>
				<verse number="7">පාපයට පෙළඹී, රන් රිදීයෙන් සාදාගත් දේව රූප නුඹලා ඉවත ලන කාලය පැමිණෙන්නේ ය.</verse>
				<verse number="8">“එකල අසිරියන්වරු යුද්ධයේ දී මනුෂ්‍ය බලයකින් නොව, ඊට වඩා අධික බලයකින් විනාශ වන්නෝ ය. ඔව්හු යුද්ධයෙන් පලා යන්නෝ ය. ඔවුන්ගේ තරුණයෝ වහල්ලු වන්නෝ ය.</verse>
				<verse number="9">ඔවුන්ගේ රජ භීතියෙන් පලා යන්නේ ය. නිලධාරීහු තැතිගෙන ඔවුන්ගේ ධජ සංකේතය ඉවත දමන්නෝ ය. මෙසේ පවසන්නේ ඉශ්රායෙල්හි නමස්කාරය ලබන, එහි දවන යාග පූජා ලබන සමිඳාණෝ ය.”</verse>
			</chapter>
			<chapter number="32">
				<verse number="1">අවංක රජ කෙනෙකු ද යුක්තියෙන් පාලනය කරන අධිපතීන් ද ඇති වන කාලයක් පැමිණෙන්නේ ය.</verse>
				<verse number="2">ඔව්හු, සුළඟින් වැළකෙන්න රැකවරණයක් මෙන් ද කුණාටුවෙන් සැඟවෙන්න ස්ථානයක් මෙන් ද වියළි බිමේ ගලා යන දිය පාරවල් මෙන් ද පාළු පෙදෙසක සෙවණ ගෙන දෙන විශාල පර්වතයක් මෙන් ද වන්නෝ ය.</verse>
				<verse number="3">පෙනීම ඇති අයගේ ඇස් අඳුරු නොවෙයි; කන් ඇසෙන අයගේ කන් ඇහුම්කන් දෙයි.</verse>
				<verse number="4">ඔව්හු ඉක්මන්කාර ගතියෙන් තොර ව, ඥානවන්ත ලෙස ක්‍රියා කරමින්, තේරුම්පැහැදුම් ඇති ව කතා කරන්නෝ ය.</verse>
				<verse number="5">‘අධමයා උත්තමයෙක් ය’ කියාවත්, කපටියා ගුණවන්තයෙක් ය’ කියාවත් තවත් කියනු නොලබන්නේ ය.</verse>
				<verse number="6">අඥානයා මෝඩ ලෙස කතා කරමින් නපුරු දේ කරන්න සිතයි; ඔහු කරන දේත්, සිතන දේත් දෙවිඳුන්ට අපහාසයකි. ඔහු කිසි කලක බඩගිනි අයට කන්න දෙන්නේ වත්, පිපාසිත අයට බොන්න දෙන්නේ වත් නැත.</verse>
				<verse number="7">ඔහු දුෂ්ට උපා යොදයි; බොරුවෙන් දුප්පත් අය විනාශ කරන්නත්, ඒ අයගේ අයිතිවාසිකම් ඔවුන්ගෙන් වළක්වන්නත් ඔහු උපා යොදයි.</verse>
				<verse number="8">එහෙත්, යුක්ති ගරුක මිනිසා යුක්තිය අනුව ක්‍රියාකර යුක්තිය වෙනුවෙන් ස්ථිර ව සිටින්නේ ය. විනිශ්චයය හා පුනරුත්ථාපනය</verse>
				<verse number="9">සැප විහරණයෙන් කල් යවන ස්ත්‍රියනි, මා කියන දේට සවන් දෙන්න, වගකීමක් නැති තරුණියනි, මා කියන දේ අසන්න.</verse>
				<verse number="10">ඔබ දැන් තෘප්තිමත් ව සිටින නමුත්, තව අවුරුද්දකින් පමණ නෙළාගැනීමට මුද්‍රික පල කිසිවක් නොවන නිසා ඔබේ බලාපොරොත්තු ශුන්‍ය වන්නේ ය.</verse>
				<verse number="11">කරදරවලින් නිදහස් ව සැප විහරණයෙන් කල් යවන ස්ත්‍රියනි, දැන් භීතියෙන් වෙවුළන්න; ඔබේ වස්ත්‍ර ගලවාදමන්න; ඉඟ වටා ගෝණි රෙදි ඇඳගන්න.</verse>
				<verse number="12">සාරවත් කෙත් හා මිදි වතු විනාශ වී ඇති නිසා ශෝකයෙන් ඔබේ පපුවට ගසාගන්න.</verse>
				<verse number="13">මාගේ සෙනඟගේ ඉඩම්වල කටු පඳුරු ද ගොකටු ද හටගන්නේ ය. සොම්නසින් පිනා ගිය සියලු ම ප්‍රීතිය ඇති නගරයේ ගෙවල එසේ වන්නේ ය.</verse>
				<verse number="14">රජමැදුර පවා හිස් වන්නේ ය, අගනුවර ද සම්පූර්ණයෙන් පාළු වන්නේ ය; ගෙවල් ද මුරකොටු ද සදහට ම නටබුන් වන්නේ ය; වල් කොටළුවන් එහි ලගිනු ඇත; ඒවා බැටළුවන්ට තණ බිම් වන්නේ ය.</verse>
				<verse number="15">එහෙත්, දෙවිඳාණෝ සිය ආත්මානුභාවය අප වෙත නැවත වරක් එවන සේක; එවිට පාළු ඉඩම් සාරවත් වන්නේ ය. සාරවත් ඉඩම් පාළු වන්නේ ය.</verse>
				<verse number="16">දේශයේ සෑම තැන ම පාළුකරයේ යුක්තියත්, සාරවත් භූමියේ ධර්මිෂ්ඨකමත් පවතින්නේ ය.</verse>
				<verse number="17">සියලු දෙනා ම හරි දේ කරන බැවින් සාමයත්, ආරක්ෂාවත්, සදහට ම පවතින්නේ ය.</verse>
				<verse number="18">දෙවිඳුන්ගේ සෙනඟගේ ගෙවල සාමයත්, ආරක්ෂාවත්, කරදරවලින් නිදහස්කමත් ඇති වන්නේ ය.</verse>
				<verse number="19">ගල් වර්ෂාවෙන් වනය ඇද වැටී නගරය ද සමතලා වූවත්;</verse>
				<verse number="20">වැපිරීම සඳහා බොහෝ සේ වතුර ද ගවයන්ට හා කොටළුවන්ට නිදහසේ කෑමට සෑම තැන ම තණ බිම් ද ඇති වන නිසා නුඹලා වාසනාවන්තයෝ ය.</verse>
			</chapter>
			<chapter number="33">
				<verse number="1">කිසිවකු විසින් කොල්ලකනු නොලැබූ නමුත්, කොල්ලකන, ද්‍රෝහිකම් කරනු නොලැබූ නමුත්, ද්‍රෝහිකම් කරන අපේ සතුරන්ට වන විපතක මහත! ඔවුන්ගේ කොල්ලකෑම හා ද්‍රෝහිකම් කිරීමේ කාලය අවසාන වේ. එවිට ඔවුන් ම කොල්ලකෑමටත්, ද්‍රෝහිකමටත් භාජනය වනු ඇත.</verse>
				<verse number="2">සමිඳුනි, අපට දයා වුව මැනව. අප අපේ බලාපොරොත්තුව ඔබ කෙරෙහි තබා ඇත. දිනෙන් දින අප ආරක්ෂාකර ඔබේ බාහු බලයෙන් අප රැකගත මැනව. කරදර ඇති කාලවල දී අප මුදාගත මැනව.</verse>
				<verse number="3">ඔබ අප වෙනුවෙන් සටන් කරන විට යුද්ධ ඝෝෂාව නිසා ජාතීහු පලා යන්නෝ ය.</verse>
				<verse number="4">දළඹුවා රැස් කරන්නාක් මෙන් ඔවුන් කොල්ලකෑ වස්තුව රැස් කෙරේ. පළඟැටියන් මෙන් මිනිසුන් එය පිට කඩා වදිනු ඇත.</verse>
				<verse number="5">සමිඳාණෝ මහෝත්තම වන සේක. සියල්ල කෙරෙහි එතුමාණෝ ආණ්ඩු කරන සේක. එතුමාණෝ ජෙරුසලම පුරා යුක්තියත්, ධර්මිෂ්ඨකමත් පිහිටුවන සේක.</verse>
				<verse number="6">එතුමාණෝ ජාතීන්ට ස්ථාවරතාව දෙන සේක. එතුමාණෝ නිරන්තරයෙන් සිය සෙනඟ ආරක්ෂා කොට ප්‍රඥාවත්, දැනගැන්මත් ඔවුන්ට දෙන සේක. සමිඳුන්ට ගරුබිය දැක්වීම ඔව්හු උසස් වස්තුවක් සේ අගය කරති.</verse>
				<verse number="7">නිර්භීත සෙනඟ පිහිට ඉල්ලා මොරගසති; සාමයේ තානාපතීහු මහා දුකින් හඬති.</verse>
				<verse number="8">මහා මාවත් අන්තරායදායක බැවින් කිසිවෙක් එහි ගමන් නොකරති. ඔවුන් ගිවිසුම අවලංගුකර ඇත; පොරොන්දු කඩකර ඇත; කිසිවෙකුට තවත් ගරු නොකරනු ඇත.</verse>
				<verse number="9">දේශය පාළු වී හිස් වී ඇත. ලෙබනොනය වියළී ගොස් ඇත. ශාරොන් කාන්තාරයක් වී ඇත. බාෂාන් හා කර්මෙල් ගස්වලින් කොළ හැළේ.</verse>
				<verse number="10">සමිඳාණෝ ජාතීන් හට මෙසේ වදාරන සේක: “දැන් මම ක්‍රියා කරන්නෙමි; මා කොතරම් බලවත් ද කියා පෙන්වන්නෙමි.</verse>
				<verse number="11">නුඹලා කිසිම තේරුමක් නැති යෝජනා කරන්නහු ය. නුඹලා කරන සියලු දේ නිෂ්ඵල ය. ගින්නක් වැනි හුස්මක් නුඹලා දවාලන්නේ ය.</verse>
				<verse number="12">නුඹලා පුළුස්සනු ලබන හුණු ගල් මෙන් ද කපා ගින්නෙහි දවාලනු ලබන කටු පඳුරු මෙන් ද වන්නහු ය.</verse>
				<verse number="13">දුර සිටින නුඹලා මා කළ දේ බලන්න; ළඟ සිටින නුඹලා මාගේ බලපරාක්‍රමය තේරුම්ගන්න.”</verse>
				<verse number="14">සියොන්හි පව්කාරයෝ බියෙන් වෙවුළති; අභක්තිකයෝ භීතියෙන් ඇලළී යති. මේ දැවෙන ගින්නෙහි අප අතරෙන් කවරෙකුට ජීවත් විය හැකි ද? මේ සදා ගින්නෙන් කෙසේ ගැළවෙන්න ද?</verse>
				<verse number="15">නුඹලා අවංක ව කතා කරන්නහු නම්, හරි දේ කරන්නහු නම්, දුප්පතුන් රවටන්න නුඹලාගේ බලය පාවිච්චි නොකරන්නහු නම්, අල්ලස් නොගන්නහු නම්, මිනී මරන්න හා අනිකුත් අපරාධ කරන්න උපා යොදන අය සමඟ හවුල් නොවන්නහු නම්,</verse>
				<verse number="16">නුඹලාට ජය අත් වී ශක්තිමත් බලකොටුවක සිටින්නන් සේ සුරක්ෂිත වන්නහු ය. කෑමට ආහාර ද බීමට වතුර ද නුඹලාට ඇති වන්නේ ය.</verse>
				<verse number="17">සියලු දිශාවල පැතිර ඇති දේශයක් කෙරෙහි තේජසින් පාලනය කරන රජ කෙනෙක් නුඹලාට නැවත දකින්න ලැබෙන්නේ ය.</verse>
				<verse number="18">විදේශීය බදු අය කරන්නා ද කප්පම් ගන්නා ද වස්තු රැස් කරන්නා ද ගැන පෙර තිබූ නුඹේ බිය මතක මාත්‍රයක් පමණක් වන්නේ ය.</verse>
				<verse number="19">නුඹලාට නොතේරෙන විදේශීය භාෂාවකින් කතා කරන විදේශිකයන් තවත් නුඹලාගේ ඇස්වලින් දකින්න ලැබෙන්නේ නැත.</verse>
				<verse number="20">අපේ ආගමික මංගල්‍යයන් පවත්වන ස්ථානයක් වන සියොන් දෙස බලන්න; ජෙරුසලම දෙස බලන්න. ජීවත් වීමට එය කොතරම් සුරක්ෂිත වාසභවනයක් වන්නේ ද? එය, කිසි කලක නොසෙල්වන, ඇබ ගලවනු නොලබන, ලණු නොකැඩෙන, කූඩාරමක් හා සමාන වන්නේ ය.</verse>
				<verse number="21">සමිඳාණෝ සිය තේජාලංකාරය අපට පෙන්වන සේක. එතුමාණෝ ගංගා හා දිය ඇලවල් අසල වැඩ සිටින සේක. සතුරු නැව් එහි යාත්‍රා නොකරන්නේ ය.</verse>
				<verse number="22">ඒ නැව්වල ආම්පන්නවලින් වැඩක් නැත.</verse>
				<verse number="23">රුවල් විදහන්න බැරි ය; කුඹගහ කෙළින් තබන්න බැරි ය. සතුරු සේනාවේ සකල වස්තුව අප විසින් පැහැරගෙන යනු ලබන්නේ ය. කොරුන්ට පවා ගන්න පුළුවන් තරමට විශාල කොල්ලයක් ඇති වන්නේ ය. සමිඳාණෝ ම අප පාලනය කරන රජාණන් වන සේක; අප විනිශ්චයකරුවාණන් වන සේක; එතුමාණෝ අප පාලනයකර අප ආරක්ෂා කරන සේක.</verse>
				<verse number="24">අපේ දේශයේ සිටින කිසිවෙකු මින්පසු ලෙඩක් දුකක් ගැන පැමිණිලි කරන්නේ නැත. එහි වාසය කරන සියලු දෙනාගේ පව් කමා කරනු ලබන්නේ ය.</verse>
			</chapter>
			<chapter number="34">
				<verse number="1">ජාතීනි, ළං වන්න; ජනයෙනි, සවන් දෙන්න. මුළු පොළොව ද එහි වැසි සියල්ලන් ද පැමිණ සවන් දෙන්න.</verse>
				<verse number="2">සමිඳුන් සෑම ජාතීන් කෙරෙහි උදහස් වී, ඔවුන්ගේ සියලු සේනාවන් කෙරෙහි කෝප වී විනාශයටත්, මැරුම්කෑමටත් ඔවුන් තීන්දුකර ඇත.</verse>
				<verse number="3">ඔවුන් අතරෙන් මැරුම් කෑ අය ඉවත දමනු ලබන්නෝ ය. ඔවුන්ගේ මළකඳන් ගඳ ගසන්නේ ය. කඳුවලින් ඔවුන්ගේ ලේ වෑස්සෙන්නේ ය.</verse>
				<verse number="4">
					ඉර, හඳ හා තාරකා මැලවී යන්නේ ය.
					අහස, අකුළන පොතක් මෙන් ඇකිළී, එහි තාරකා, මිදි වැලකින් හෝ අත්තික්කා ගසකින් හෝ වැටෙන කොළ මෙන් වැටෙන්නේ ය.
				</verse>
				<verse number="5">
					සමිඳුන් සිය කඩුව සගයෙහි සූදානම්කර ඇත.
					එයින් එතුමාණෝ, ඒදොම්හි සිටින, විනාශයට තීන්දු කරන ලද සෙනඟට පහර දෙන සේක.
				</verse>
				<verse number="6">පූජා කරනු ලබන එළු බැටළුවන්ගේ ලේ හා තෙල් ද බැටළුවන්ගේ වකුගඩු තෙලෙන් ද සමිඳාණන් වහන්සේගේ කඩුව තෙත් වී ඇත. සමිඳාණෝ මේ මහා පූජාව බොශ්රා නගරයෙහි කරන සේක. මෙය ඒදොම් දේශයෙහි මහා ඝාතනයක් වන්න සලසන සේක.</verse>
				<verse number="7">වල් මීහරකුන් හා ගොන් නාම්බන් සමඟ ඔව්හු ඇද වැටෙන්නෝ ය. ඔවුන්ගේ ලෙයින් දේශය රතු වන්නේ ය; ඔවුන්ගේ තෙලින් භූමිය වැසී යන්නේ ය.</verse>
				<verse number="8">සමිඳාණන් සියොන් බේරාගෙන ඇගේ සතුරන්ගෙන් පළිගන්න කාලය මෙය වේ.</verse>
				<verse number="9">ඒදොම්හි ගංගා තාර බවටත්, එහි භූමිය ගෙන්දගම් බවටත් හැරෙන්නේ ය. මුළු දේශය දැවෙන තාර බිමක් වන්නේ ය.</verse>
				<verse number="10">
					එහි ඇවිලෙන ගින්න රෑ දාවල් දෙක්හි නොනිවී තිබෙන්නේ ය.
					එයින් නඟින දුම සදහට ම පවතින්නේ ය. පරපුරෙන් පරපුරට එය පාළු වන්නේ ය. කිසිවෙක් ඒ මැදින් ගමන් නොකරන්නෝ ය.
				</verse>
				<verse number="11">උකුස්සන්ටත්, ඉත්තෑවන්ටත් දේශය උරුම වන්නේ ය. බකමූණෝ ද කපුටෝ ද එහි වාසය කරන්නෝ ය. සමිඳාණෝ එය මැවීමට පෙර තිබුණාක් මෙන් පාළු, හිස් දේශයක් කරන සේක.</verse>
				<verse number="12">රට පාලනය කිරීමට රජ කෙනෙක් නොවන්නේ ය; අධිපතියෝ කිසිවෙක් ද නොවන්නෝ ය.</verse>
				<verse number="13">එහි මාලිගාවල කටු පඳුරු ද බලකොටුවල කහඹිලියා හා ගොකටු ද හටගන්නේ ය. ඒවා හිවලුන්ටත්, පැස්බරුන්ටත් වාසස්ථාන වන්නේ ය.</verse>
				<verse number="14">වනයේ වල් මෘගයෝ ද වෘකයෝ ද එකට හමු වන්නෝ ය. වල් එළුවෝ ඔවුන් එකිනෙකාට කෑගසන්නෝ ය. උලමාත් එහි ලගින්න නිශ්චල තැනක් ලබාගන්නේ ය.</verse>
				<verse number="15">එහි සර්පයා බෙනය සාදා, බිජු දමා, රැක, පැටවුන් ඇගේ සෙවණෙහි තුරුලු කරගන්නී ය. උකුස්සෝ එකෙක් පාසා එකෙක් එහි එකතු වන්නෝ ය.</verse>
				<verse number="16">සමිඳුන්ගේ පොත කියවා බලන්න; එහි සඳහන් වී ඇති සතුන්ගෙන් එකෙක් වත් මෙහි අඩු නොවන්නේ ය. හැම එකෙකුට ම ගෑණු සතෙක් ද වන්නේ ය. එය නියම කළේ සමිඳාණෝ ම ය. සමිඳාණෝ ම ඔවුන් එක් රැස් කරන සේක.</verse>
				<verse number="17">දාදු දමා, දේශය ඔවුන් අතරේ බෙදා එකිනෙකාට කොටසක් දෙන්නේ සමිඳාණෝ ය. ඔවුන් එය සදාකාලයට ම උරුම කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට එහි වාසය කරනු ඇත.</verse>
			</chapter>
			<chapter number="35">
				<verse number="1">වනය ද වියළි දේශය ද ප්‍රීති වන්නෝ ය; කාන්තාරය ප්‍රීතිමත් වී සෙව්වන්දි මෙන් මල් දරන්නේ ය.</verse>
				<verse number="2">එය ප්‍රීතියෙන් ගී හඬ නඟන්නේ ය. ලෙබනොන් කන්ද මෙන් එය පියකරු වන්නේ ය; කර්මෙල් හා ශාරොන් කෙත් මෙන් සාරවත් වන්නේ ය; සමිඳුන්ගේ තේජාලංකාරය ද එතුමන්ගේ මහ බල මහිමය ද සියල්ලෝ දකින්නෝ ය.</verse>
				<verse number="3">
					බෙලහීන අත් බලවත්කර, වෙවුළන දණ හිස් ශක්තිමත් කරන්න;
				</verse>
				<verse number="4">බියසුලු සිත් ඇත්තන්ට මෙසේ කියන්න; “බිය නොවී දිරි ගන්න; දෙවිඳාණෝ ඔබ මුදන පිණිසත් ඔබේ සතුරන්ගෙන් පළිගන්න පිණිසත් වඩින සේක.”</verse>
				<verse number="5">
					අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේ ය.
					බිහිරන්ගේ කන් ඇරෙන්නේ ය.
				</verse>
				<verse number="6">කොර අය මුවන් මෙන් දුව පනින්නෝ ය. ගොළු අය ප්‍රීතියෙන් ගී ගයන්නෝ ය. කාන්තාරයෙන් ජලධාරා ගලා එන්නේ ය. මරුකතරෙන් ඇල දොළවල් බිඳී එන්නේ ය.</verse>
				<verse number="7">මිරිඟුව ජල පොකුණක් වෙයි. වියළි බිම උල්පත්වලින් පිරෙයි. සිවලුන් ලැගුම් ගත් පාළු පෙදෙස්වල බට පඳුරු හා පන්ගස් හටගන්නේ ය.</verse>
				<verse number="8">ශුද්ධවන්තකමේ මාර්ගය යන නමින් මහා මාවතක් එහි ඇති වේ. පවිටුන්ට එහි ගමන් කළ නොහැකි ය. අනුවණයන් ද එහි මුළා නොවේ.</verse>
				<verse number="9">සිංහයෝ එහි නොවෙති, දරුණු මෘගයෝ එමඟෙහි හමු නොවෙති, සමිඳුන් විසින් මුදාගනු ලැබූ අය පමණක් එහි ගමන් ගනිති.</verse>
				<verse number="10">ගැළවීම ලැබූ ඔව්හු ප්‍රීති ඝෝෂා පවත්වමින් සතුටු සිතින් පිනා යමින් ජෙරුසලමට පැමිණෙති. දුකින් හා දොම්නසින් මිදී සදහට ම ප්‍රීති වෙමින් ඔව්හු එහි වෙසෙති.</verse>
			</chapter>
			<chapter number="36">
				<verse number="1">හෙසකියා රජුගේ දහහතර වන අවුරුද්දේ දී අසිරියාවේ අධිරාජයා වූ සෙනකෙරිබ් පවුරුවලින් ආරක්ෂා කරන ලද ජුදාහි නගරවලට පහර දී ඒවා අල්ලාගත්තේ ය.</verse>
				<verse number="2">ඉන්පසු ඔහු තමාගේ ප්‍රධාන නිලධාරියා වන රබ්-ෂාකේ මහත් සේනාවක් සමඟ ලාකීෂ් සිට ජෙරුසලමට යවා හෙසකියා රජුට යටත් වන ලෙස බලකරන්නට යයි නියම කෙළේ ය. ඔහු ගොස් අපුල්ලන්නාගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කාණුව ළඟ සිටියේ ය.</verse>
				<verse number="3">එවිට රජ ගෙදර ප්‍රධානියා වූ හිල්කියාගේ පුත් එලියාකිම් ද ලේකම් වූ ෂෙබ්නා ද වාර්තාකරු වූ ආසප්ගේ පුත් ජෝවා ද ඔහු වෙත ගියහ.</verse>
				<verse number="4">එවිට අසිරියානු නිලධාරියා ඔවුන්ට මෙසේ කී ය: “අසිරියාවේ අධිරාජයා මෙසේ ප්‍රශ්න කරන්නේ යයි හෙසකියා රජුට කියන්න. ඔබට ඔතරම් විශ්වාසයක් තිබෙන්නේ කොහොම ද?</verse>
				<verse number="5">යුද්ධයෙහි බලයත්, දක්ෂකමත්, උපායත් වෙනුවට කතාව පමණක් සෑහේ යයි ඔබ සිතන්නෙහි ද? මට විරුද්ධ ව කැරලි ගසන්න ඔබට උපකාර වන්නේ කවුරු ද කියා ඔබ සිතන්නෙහි ද?</verse>
				<verse number="6">මිසරය ඔබට උපකාර කරනු ඇතැ යි ඔබ සිතන්නෙහි ය. එහෙත්, එය හැරමිටිය සඳහා තැළුණු බට දණ්ඩක් අතට ගැනීම හා සමාන ය. එයට බර වුවහොත් එය ඇනී එයින් අත සිදුරු වන්නේ ය. මිසරයේ පාරාවෝ රජු කෙරෙහි විශ්වාස කරන අය එවැනි බට දඬු හා සමාන ය.”</verse>
				<verse number="7">ඔහු තවදුරටත් කතා කරමින් මෙසේ කී ය: “ඔබ සමහරවිට, ‘අපේ දෙවි වන සමිඳාණන් වහන්සේ කෙරෙහි අපි විශ්වාස කරමු’යි මට කියනවා ඇත. එහෙත්, එම දෙවි සමිඳාණන් වහන්සේගේ සිද්ධස්ථාන හා පූජාසන කඩා දැමුවේත්, එක ම පූජාසනයක් ඉදිරියේ නමස්කාර කරන්න ජුදාවේ හා ජෙරුසලමේ වැසියන්ට නියම කෙළේත් හෙසකියා රජු ම නොවේ ද?</verse>
				<verse number="8">මාගේ ස්වාමියා වන අසිරියාවේ රජුගේ නාමයෙන් මම ඔබ හැම සමඟ ඔට්ටුවක් අල්ලන්නෙමි. මම ඔබට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි. උන් පිට නැඟී යන්න ඔබට අසරුවන් සොයා ගත හැකි ද?</verse>
				<verse number="9">එතරම් බැරි නම් රථ ද අසරුවන් ද ගැන මිසරය කෙරෙහි විශ්වාස කරගෙන ඔබ මාගේ ස්වාමියාගේ සුළු සේවකයන්ගෙන් එක මුලාදෑනියෙකු වුව ද පලවා හරින්නේ කෙසේ ද?</verse>
				<verse number="10">ඔබේ රටට මා පහර දී එය විනාශ කෙළේ සමිඳාණන් වහන්සේගේ උපකාරය නැති ව ය කියා ඔබ සිතන්නෙහි ද? ඔබේ රටට පහර දී එය විනාශ කරන්න කියා මට කීවේ සමිඳාණන් වහන්සේ ම ය.”</verse>
				<verse number="11">එවිට එලියාකිම් ද ෂෙබ්නා ද ජෝවා ද රබ්-ෂාකේට කතා කොට, “අරමීය භාෂාවෙන් අපට කතා කරන්න, එය අපට තේරේ. පවුර පිට සෙනඟට ඇසෙන පිණිස හෙබ්‍රේව් භාෂාවෙන් කතා නොකරන්නැ”යි කී හ.</verse>
				<verse number="12">ඔහු පිළිතුරු දෙමින් මෙසේ කී ය: “අධිරාජයා මා එව්වේ, ඔබටත්, ඔබේ රජ්ජුරුවන්ටත් මේ දේ කියන්න යැයි ඔබ සිතන්නහු ද? එසේ නොවේ, මා කතා කරන්නේ ඔබට මෙන් ම තමන්ගේ ම අශූචි කන්නත් තමන්ගේ ම මුත්‍රා බොන්නත් නියම වී පවුර පිට සිටින මේ සෙනඟට ය.”</verse>
				<verse number="13">ප්‍රධාන නිලධාරියා එසේ කියා නැඟිට සිට, ශබ්ද නඟා හෙබ්‍රේව් භාෂාවෙන් කතා කරමින් මෙසේ කී ය: “අසිරියාවේ අධිරාජයා ඔබට කියන දේට සවන් දෙන්න.</verse>
				<verse number="14">ඔබ හැම රවටන්න හෙසකියාට ඉඩ නොදෙන්නැ යි එතුමා ඔබට අවවාද කරයි. මන්ද, ඔබ හැම ගළවාගන්න හෙසකියාට බැරි ය.</verse>
				<verse number="15">‘සමිඳාණන් වහන්සේ සැබැවින් ම අප ගළවාගන්නා සේක’ කියා ද, ‘ඒ නිසා ඔබ හැමගේ නුවර අල්ලාගන්න උන් වහන්සේ අසිරියාවට නොදෙන සේක’ කියා ද සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න ඔබ හැම කැමැති කරවා ගැනීමට හෙසකියා රජුට ඉඩ නොදෙන්න.</verse>
				<verse number="16">හෙසකියා රජුට සවන් නොදෙනු. අසිරියාවේ අධිරාජයා ඔබ හැමට මෙසේ අණ කරයි.</verse>
				<verse number="17">නුවරින් පිටත මා සමඟ සාමය පිහිටුවන්න. එවිට එතුමා ධාන්‍ය හා මුද්‍රික පානය ද කෑම හා මිදි වතු ද ඇති ඔබේ දේශයට සමාන වූ දේශයකට ගෙන ගොස් ඔබ පදිංචි කරවන තුරු ඔබ කාටත් තම තමාගේ මුද්‍රික වැලෙන් ද තම තමාගේ අත්තික්කා ගසෙන් ද කන්නත්, තම තමන්ගේ ළිඳෙන් බොන්නත් ඉඩ දෙන්නේ ය.</verse>
				<verse number="18">සමිඳාණන් වහන්සේ ඔබ හැම ගළවාගන්න සේකැ යි කියමින් ඔබ හැම රවටන්න හෙසකියාට ඉඩ නොදෙන්න. අන් ජාතීන්ගේ දෙවිවරු අසිරියාවේ අධිරාජයාගෙන් ඒ ජාතීන් බේරා ගත්තෝ ද?</verse>
				<verse number="19">හමාත්හි හා අර්පාද්හි දෙවිවරු දැන් කොහි ද? සෙපර්වායිම්හි දෙවිවරු කොහි ද? කිසි ම දෙවි කෙනෙක් සමාරිය බේරා ගත්තේ ද? කොහෙත් ම නැත.</verse>
				<verse number="20">අපේ අධිරාජයාගේ අතින් මේ ජාතීන් මුදාගැනීමට එහි දෙවිවරුන්ගෙන් සමත් වූයේ කවරෙක් ද? එසේ නුවූයේ නම්, ‘සමිඳාණන් වහන්සේ ජෙරුසලම ගළවාගන්න සේකැ’යි ඔබ සිතන්නේ කුමට ද?”</verse>
				<verse number="21">හෙසකියා රජු ‘පිළිතුරු නොදෙන්නැ’යි අණකළ පරිදි සෙනඟ නිශ්ශබ්ද ව සිට කිසි පිළිතුරක් නුදුන්නෝ ය.</verse>
				<verse number="22">එවිට හිල්කියාගේ පුත් එලියාකිම් ද ලේකම් ව සිටි ෂෙබ්නා ද ජෝවා ද තම තමන්ගේ ඇඳුම් ශෝකයෙන් ඉරාගෙන හෙසකියා රජු වෙත ගොස් රබ්-ෂාකේ කී දේ ඔහුට සැළ කළෝ ය.</verse>
			</chapter>
			<chapter number="37">
				<verse number="1">හෙසකියා රජ ඒ අසා ශෝකයෙන් තමාගේ ඇඳුම් ඉරාගෙන, ගෝණි රෙදි පොරවාගෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පිවිසියේ ය.</verse>
				<verse number="2">ඔහු ගෝණි රෙදි ඇඳගෙන සිටි රජ ගෙදර ප්‍රධානියා වන එලියාකිම් ද ලේකම් වන ෂෙබ්නා ද ජ්‍යෙෂ්ඨ පූජකයන් ද ආමොස්ගේ පුත්‍ර වූ යෙසායා දිවැසිවරයා වෙත යැව්වේ ය.</verse>
				<verse number="3">ඔවුන් අතේ රජතුමා යෙසායා වෙත යැවූ පණිවුඩය මෙසේ ය: “අද දුක ද තර්ජනය ද අපහාසය ද ඇති දවසක් ය. අපි දරුවකු බිහි කරන්න සිටින නමුත්, එසේ කිරීමට නොහැකි තරමට දුර්වල වන ස්ත්‍රියක හා සමාන ය.</verse>
				<verse number="4">අසිරියාවේ අධිරාජයා ජීවමාන දෙවියන් වහන්සේට අපහාස කරන පිණිස ඔහුගේ ප්‍රධාන නිලධාරියා වන රබ්-ෂාකේ ලවා කියවූ වචන අපේ දෙවි වන සමිඳාණන් වහන්සේට ඇසෙන්න ඇත. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ මේ අපහාසයන් අසා ඒවා කී අයට දඬුවම් කරන සේක්වා. එබැවින් ඉතිරි ව සිටින සෙනඟ උදෙසා දෙවියන් වහන්සේට යාච්ඤා කරන්න.”</verse>
				<verse number="5">යෙසායා හෙසකියා රජුගේ පණිවුඩය ලැබූ විට</verse>
				<verse number="6">ඔහු වෙත මේ පිළිතුර යැවී ය: “අසිරියාවේ රජුගේ සේවකයන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කිවූ මේ අපහාස වචන ඇසූ විට ඒ ගැන බිය නොවන්න.</verse>
				<verse number="7">මම, තම දේශයට හැරී යාමට ආරංචියක් ඇසෙන පිණිස අධිරාජයා පිට ආත්මයක් පමුණුවන්නෙමි. ඔහු තම දේශයේ දී කඩුවෙන් වැටී යාමට සලස්වන්නෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.”</verse>
				<verse number="8">අසිරියාවේ අධිරාජයා ලාකීෂ් හැර ගොස් ලිබ්නා නුවරට විරුද්ධ ව සටන් කරන බව අසා ඔහු හමුවන පිණිස ප්‍රධාන නිලධාරියා එතැනට ගියේ ය.</verse>
				<verse number="9">එතියෝපියාවේ රජ වූ තිර්හාකා මිසරයේ හමුදාවන් සමඟ අසිරියන්වරුන්ට පහර දෙන පිණිස එති යි ඔවුන්ට ආරංචියක් ලැබිණ. අධිරාජයා මෙය ඇසූ විට හෙසකියා රජු වෙත පණිවුඩකාරයන් යවමින්,</verse>
				<verse number="10">ජුදාවේ රජ වූ හෙසකියාට මෙසේ කියන්න කීවේ ය: “මාගේ අතට ජෙරුසලම අසු නොවන්නේ යයි කියන, ඔබ විශ්වාසය තබන දෙවියන් වහන්සේගේ වචනයට නොරැවටෙන්න.</verse>
				<verse number="11">අසිරියාවේ රජවරුන් සියලු දේශයන් සහමුලින් ම විනාශ කළ හැටි ඔබ අසා ඇත. එසේනම්, ඔබට ගැළවෙන්න පුළුවන් යයි ඔබ සිතන්නෙහි ද?</verse>
				<verse number="12">මගේ මුතුන්මිත්තෝ ගෝෂාන්, හාරාන් හා රෙශෙප් යන නගර විනාශකර තෙලෙස්සාර්හි සිටි බෙතෙදාන් ජාතිකයන් මරා දැමුවෝ ය. ඒ ජාතීන්ගේ දෙවිවරුන්ගෙන් කිසිවෙකුට ඔවුන් ගළවාගත නොහැකි විය.</verse>
				<verse number="13">හමාත්, අර්පාද්, සෙපර්වායිම්, හේනා, ඉච්චා යන නුවරවල සිටි රජවරු දැන් කොහේ ද?”</verse>
				<verse number="14">හෙසකියා පණිවුඩකාරයන්ගේ අතින් ලියුම ගෙන එය කියවා දේව මාලිගාවට ගොස් සමිඳාණන් වහන්සේ ඉදිරියේ ලියුම තබමින්,</verse>
				<verse number="15">මෙසේ යාච්ඤා කෙළේ ය.</verse>
				<verse number="16">“කෙරුබ්වරුන්ට ඉහළින් සිංහාසනාරූඪ ව සිටින ඉශ්රායෙල්වරුන්ගේ දෙවි වන සියලු බලැති සමිඳුනි, ඔබ පමණක් ලොවේ සියලු රාජ්‍යයන් පාලනය කරන දෙවියන් වහන්සේ ය. අහසත් පොළොවත් මැව්වේ ඔබ වහන්සේ ය.</verse>
				<verse number="17">දැන් සමිඳාණන් වහන්ස, කන් යොමා අපට සවන් දුන මැනව. නෙත් යොමා අප දෙස බැලුව මැනව. ජීවමාන දෙවියන් වන ඔබට අපහාස කරන පිණිස සෙනකෙරිබ් කියන සියලු දේට සවන් දුන මැනව.</verse>
				<verse number="18">සමිඳාණන් වහන්ස, අසිරියාවේ අධිරාජවරුන් බොහෝ රාජ්‍යයන් විනාශකර, ඒ දේශයන් පාළුකර</verse>
				<verse number="19">ඔවුන්ගේ දෙවිවරුන් ගින්නෙහි දවා ලූ බව අපි දනිමු. ඒ දෙවිවරුන් ඇත්ත වශයෙන් දෙවිවරුන් නොව, මිනිසුන්ගේ අත්වලින් සාදන ලද ලී හා ගල් පිළිම පමණකි. එබැවින් ඒවා විනාශ විය.</verse>
				<verse number="20">දැන් ඉතින් අපේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබ පමණක් දෙවියන් වහන්සේ වන බව ලෝකයේ සියලු ජාතීන් දැනගන්න පිණිස අසිරියන්වරුන්ගේ අතින් අප ගැළෙව්ව මැනව!”</verse>
				<verse number="21">එවිට අසිරියාවේ රජු වන සෙනකෙරිබ් පිළිබඳ ව කළ යාච්ඤාවට ඉශ්රායෙල්වරුන්ගේ දෙවි වන සමිඳාණන් වහන්සේ විසින් දෙන ලද පිළිතුර මේ යැයි ආමොස්ගේ පුත්‍ර වූ යෙසායා තෙමේ හෙසකියා රජ වෙත පණිවුඩයක් යැව්වේ ය.</verse>
				<verse number="22">ඔහු ගැන සමිඳාණන් වහන්සේ වදාරන වචනය මෙසේ ය; “සියොන් කන්‍යා දියණිය, නුඹට අවඥාවෙන් සරදම් කරන්නී ය. ජෙරුසලම් දියණිය, නුඹට සමච්චල් කරමින් සිනාසෙන්නී ය.</verse>
				<verse number="23">නුඹ නින්දා කෙළේත්, අපහාස කෙළේත් කවරෙකුට ද කියා නුඹ සිතන්නෙහි ද? නුඹ නින්දා අපහාස කෙළේ වෙන කිසිවෙකුට නොව, ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ දෙවිඳුන් වන මට ය.</verse>
				<verse number="24">නුඹේ රථ වාහන මඟින් නුඹ උස් කඳු, ලෙබනොන් කන්ද, ලෙබනොන් කන්දේ මුදුන පවා, අල්ලාගත්තෙහි යයි මා ඉදිරියේ නුඹේ සේවකයන් ලවා පුරසාරම් දෙඩෙව්වෙහි ය. එහි උස් වූ කිහිරි ගස් හා අනගි දේවදාර ගස් නුඹ කපාදැම්මෙහි යයි ද කඳු මුදුන්වලට හා වනාන්තරවල ඉතා දුර තැන්වලට නුඹ ගියෙහි යයි ද ආඩම්බරයෙන් කීවෙහි ය.</verse>
				<verse number="25">නුඹ විදේශීය රටවල ළිං හාරා, වතුර බීවෙහි ය කියා ද නුඹේ හේවායෝ නයිල් ගඟ වේළෙන තුරු එය පයින් පෑගුවෝ ය කියා ද කීවෙහි ය.</verse>
				<verse number="26">මේ සියල්ල කරන්න මා පුරාණයේ සිට ම අදහස් කර අධිෂ්ඨාන කළ බව නුඹ නොදන්නෙහි ද? ඒවා දැන් මම ඉටු කෙළෙමි. පවුරු ඇති නගර නාස්ති කොට ඒවා නටබුන් ගොඩවල් කරන්න නුඹට බලය දුන්නේ මම ය.</verse>
				<verse number="27">එහි සිටි සෙනඟ බෙලහීන ය; ඔව්හු කැළඹී වියවුල් වූවෝ ය. ඔව්හු කෙතේ තණ කොළ ද අමු පලා ද පියසි උඩ තණ කොළ ද වැඩෙන්න පළමුවෙන් වියළී ගිය ගොයම් ද මෙන් වූ හ.</verse>
				<verse number="28">එහෙත්, නුඹේ ඉඳුම්හිටුම් ද නුඹේ යාම්ඊම් ද මට විරුද්ධ ව නුඹේ කැරලිකාරකම් ද දැන් මම දනිමි.</verse>
				<verse number="29">මට විරුද්ධ ව තිබෙන නුඹේ කැරලිකාරකම නිසා ද නුඹේ අහංකාර වචන මාගේ කන්වල වැකුණ නිසා ද නුඹේ නාසයේ කොක්කක් අමුණා, කටේ කටකලියාවක් දමා නුඹ පැමිණි මාර්ගයේ ම නුඹ ගෙන යන්නෙමි.”</verse>
				<verse number="30">එවිට යෙසායා හෙසකියා රජුට මෙසේ කී ය: “සිදු වන්න යන දේ පිළිබඳ ව මෙන්න ඔබට ලකුණක්: මේ අවුරුද්දේ ඉබේ හටගත් දෙයින් ඔබ කන්නෙහි ය; දෙ වන අවුරුද්දේ ඔබට කන්න ලැබෙන්නේ එයින් ඇති වන දෙයයි. තුන් වන අවුරුද්දේ දී ඔබට ධාන්‍ය වපුරා අස්වැන්න කපාගන්නත්, මිදි වතු වවා මිදි පල කන්නත් හැකි වන්නේ ය.</verse>
				<verse number="31">ජුදා දේශයේ නොමැරී ඉතිරි වන අය ගැඹුරට මුල් ඇදගෙන පල දරන ගස් මෙන් සමෘද්ධිමත් වන්නෝ ය.</verse>
				<verse number="32">සියලු බලැති සමිඳාණන් වහන්සේ අධිෂ්ඨානකර ඇති පරිදි ජෙරුසලමේ හා සියොන් කන්දේ නොමැරී ඉතිරි වන කොටසක් වන්නෝ ය.</verse>
				<verse number="33">“අසිරියාවේ අධිරාජයා ගැන සමිඳාණන් වහන්සේ වදාරා ඇති දේ මෙසේ ය: ‘ඔහු මේ නුවරට ඇතුළු වන්නේ වත්, ඊගසක් ඊට විදින්නේ වත්, ඒ ඉදිරිපිට පලිහක් රැගෙන එන්නේ වත්, එය වටලෑම සඳහා පවුරු බඳින්නේ වත් නැත.</verse>
				<verse number="34">ඔහු පැමිණි පාරෙන් ම ආපසු යනවා ඇත. ඔහු නුවරට ඇතුළු වන්නේ නැත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="35">මාගේ ගෞරවය සඳහාත්, මාගේ සේවක දාවිත්ට කළ පොරොන්දුව නිසාත් මේ නගරය රැක බලා ගළවාගන්නෙමි.”</verse>
				<verse number="36">ඒ රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේගේ දූතයා පිටත් ව ගොස් අසිරියන්වරුන්ගේ කඳවුරෙහි එක්ලක්ෂ අසූපන්දහස් දෙනෙකුට පහර දුන්නේ ය. එළිවන විට ඔව්හු සියල්ලෝ ම මළකඳන් වූ හ.</verse>
				<verse number="37">එවිට අසිරියාවේ අධිරාජයා වූ සෙනකෙරිබ් තෙමේ පසු බැස නිනිවයට ආපසු ගියේ ය.</verse>
				<verse number="38">දිනක් ඔහු තමාගේ දෙවි වූ නිස්රොක්ගේ දේවාලයේ නමස්කාර කරමින් සිටිය දී, ඔහුගේ පුත්‍රයන් වූ අදුම්මෙලෙක් හා ෂරෙශෙර් ඔහු කඩුවෙන් මරාදමා අරාරාත් රටට පලා ගියෝ ය. ඒසර්-හද්දොන් නම් ඔහුගේ තවත් පුත්‍රයෙක් ඔහු වෙනුවට අධිරාජයා වශයෙන් පත් විය.</verse>
			</chapter>
			<chapter number="38">
				<verse number="1">ඒ කාලයේ දී හෙසකියා රජු මරණාසන්න වන තරම් රෝගාතුර විය. ආමොස්ගේ පුත්‍ර වූ යෙසායා දිවැසිවරයා ඔහු ළඟට අවුත්, “ඔබ සනීප නොවී මැරෙන බැවින් සියලු දේ පිළියෙළ කොට තැබිය යුතු යයි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කීවේ ය.</verse>
				<verse number="2">එවිට හෙසකියා සිය මුහුණ බිත්තිය දෙසට හරවාගෙන සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින්,</verse>
				<verse number="3">“අහෝ සමිඳාණන් වහන්ස! මා විශ්වාසී ලෙසත්, අවංක සිතකිනුත් ඔබට සේවයකර, ඔබේ ඇස් හමුවෙහි හරි ව තිබෙන දේ කළ බව සිහිකළ මැනව” කියා තදින් හැඬුවේ ය.</verse>
				<verse number="4">එවිට සමිඳාණන් වහන්සේ යෙසායාට අණ කරමින්,</verse>
				<verse number="5">හෙසකියා වෙත ආපසු ගොස් මෙසේ කියන ලෙස වදාළ සේක: “නුඹේ ආදි පියා වූ දාවිත් රජුගේ දෙවි ස්වාමීන් වන මම නුඹේ යාච්ඤාව ඇසීමි; නුඹේ කඳුළු දිටිමි. තව අවුරුදු පහළොවක් ජීවත් වීමට මම නුඹට වරම් දෙමි.</verse>
				<verse number="6">මම අසිරියන් අධිරාජයාගේ අතින් නුඹ සහ මේ නුවර ගළවා තවදුරටත් ආරක්ෂා කරමි.”</verse>
				<verse number="7">***</verse>
				<verse number="8">***</verse>
				<verse number="9">***</verse>
				<verse number="10">***</verse>
				<verse number="11">***</verse>
				<verse number="12">***</verse>
				<verse number="13">***</verse>
				<verse number="14">***</verse>
				<verse number="15">***</verse>
				<verse number="16">***</verse>
				<verse number="17">***</verse>
				<verse number="18">***</verse>
				<verse number="19">***</verse>
				<verse number="20">***</verse>
				<verse number="21">යෙසායා කතා කොට, “අත්තික්කා පලවලින් සාදාගත් විලේපනයක් වණය පිට තබන්නැ”යි ද, “එවිට සුවය ලැබෙන්නේ ය”යි ද රජුට කීවේ ය.</verse>
				<verse number="22">
					හෙසකියා කතා කොට, “මා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යන බවට ඇති ලකුණ කුමක් දැ”යි ඇසී ය. යෙසායා පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ සිය පොරොන්දුව ඉටුකරන බවට ඔබට ලකුණක් දෙන සේක. එනම්, ආහාස්ගේ සූර්ය හෝරා යන්ත්‍රයේ මණ්ඩලය පිට වැටෙන බැස යන දිනිසුරුගේ සෙවණැල්ල අංශක දහයක් පස්සට යන්න උන් වහන්සේ සලස්වන සේකැ”යි කී ය. එකී පරිදි සූර්ය හෝරා යන්ත්‍රයේ මණ්ඩලය පිට වැටුණු සෙවණැල්ල අංශක දහයක් පස්සට ගියේ ය. ජුදාහි රජ වූ හෙසකියා රෝගී ව සිට සුවපත් වූ පසු හෙතෙම මේ ප්‍රශංසා ගීතය ලිව්වේ ය: “මාගේ ජීවිතයේ මේ උපරිම කාලයේ දී ජීවිතයේ ඉතිරි කොටස ගෙවන පිණිස පාතාල ලෝකයට යන්න මට සිදුවේ ය කියා මම සිතුවෙමි. ජීවතුන් සිටින මේ ලෝකයේ සමිඳුන් වත්, අන්කිසි දිවි ඇත්තෙකු වත් කිසි කලක දකින්න මට නොලැබේ ය කියා මම සිතුවෙමි. ගලවා, ඉවතදැමූ එඬේර කූඩාරමක් සේ මාගේ ජීවිතය අවසන් වේ යැයි මම සිතුවෙමි. වියන්නා, යන්ත්‍රයේ වියන රෙද්ද අකුළා, කපාදමන සේ දෙවිඳාණෝ මාගේ ජීවිතය එක දවසින් අවසාන කරන සේකැ යි මම සිතුවෙමි. සිංහයෙකු මාගේ ඇටකටු බිඳින සේ මට දැනී, මම මුළු රෑ ම වේදනාවෙන් හැඬුවෙමි. දෙවිඳාණෝ මාගේ ජීවිතය එක දවසින් අවසාන කරන සේකැ යි මම සිතුවෙමි. මාගේ කට හඬ සිහින් ය, දුර්වල ය; වැහි ලිහිණියෙකු මෙන් මම කෙඳිරිගෑමි; පරවියෙකු මෙන් වැලපුණෙමි. උඩ බැලීමෙන් මාගේ ඇස් දුර්වල විය. අහෝ, සමිඳුනි! මේ සියලු දුකින් මා මිදුව මැනව. මම කුමක් කියම් ද? මා මැසිවිලි කියන්නේ කෙසේ ද? මෙය කෙළේ සමිඳාණෝ ම ය. ජීවිතය මට තිත්ත වී ඇත; මට නිදාගත නොහැක. අහෝ, සමිඳුනි! මිනිසාගේ ජීවිතය මෙබඳු වන්නේ ය. මා සුවපත්කර, මා ජීවත් කළ මැනව. එවිට මාගේ දොම්නස සොම්නසට හැරෙනු ඇත. ඔබ තුමාණෝ, සියලු අනතුරෙන් මා මුදන සේක; මාගේ සියලු පව් කමා කරන සේක. ඔබට තුති පිදීමට පාතාලයට නොහැක; ඔබට ප්‍රශංසා කිරීමට මරණයට නොහැක. ඔබ කෙරෙහි විශ්වාස කරන්න මළගියවුන්ට නොහැක. මා ඔබට දැන් ප්‍රශංසා කරන්නාක් මෙන් ඔබට ප්‍රශංසා කරන්නේ ජීවතුන් අතර සිටින අය ම ය. ඔබේ විශ්වාසවන්තකම ගැන පියවරු සිය දරුවන්ට කියති. “සමිඳාණෙනි, ඔබ මා සුවපත් කළ සේක. එබැවින් අපි දිවි හිමියෙන් වීණා වාදනය කරමින්, ඔබට ප්‍රශංසා කරමු; ඔබේ මාලිගාවේ දී ඔබට ප්‍රසංසා කරමු.”
				</verse>
			</chapter>
			<chapter number="39">
				<verse number="1">ඒ කාලයේ දී බලදාන්ගේ පුත්‍ර වූ බබිලෝනියේ රජ වූ මෙරොදක්බලදාන් තෙමේ හෙසකියා ලෙඩින් සිට සුවපත් වූ බව අසා ලියුමක් සහ තෑග්ගක් ඔහු වෙත එව්වේ ය.</verse>
				<verse number="2">හෙසකියා රාජ දූතයන් පිළිගෙන තමන් සතුරන් රිදී ද සුවඳ ද්‍රව්‍ය ද අනර්ඝ තෙල් ද තමාගේ මුළු යුද්ධායුධ ද තම ගබඩාවේ තිබුණු සියල්ල ද ඔවුන්ට පෙන්නුවේ ය. හෙසකියා තමාගේ මාලිගාවේ වත්, මුළු රාජ්‍යයෙහි වත් ඔවුන්ට නොපෙන්වූ කිසිවක් නොතිබුණේ ය.</verse>
				<verse number="3">එවිට දිවැසිවර යෙසායා, හෙසකියා වෙත ගොස්, “ඒ අය ආවේ කොහෙන් ද? ඔබට ඔවුන් කීවේ කුමක් දැ”යි ඇසී ය. “ඔව්හු දුර රටක් වන බබිලෝනියේ සිට ආවෝ ය”යි හෙසකියා පිළිතුරු දුන්නේ ය.</verse>
				<verse number="4">“ඔව්හු රජ මැදුරේ කුමක් දුටුවෝ දැ”යි යෙසායා ඇසී ය. “ඔව්හු සියල්ල ම දුටුවෝ ය. මාගේ ගබඩාවල ඔවුන්ට නොපෙන්වූ දෙයක් නැතැ”යි හෙසකියා පිළිතුරු දුන්නේ ය.</verse>
				<verse number="5">එවිට යෙසායාතුමා රජුට මෙසේ කී ය: සියලු බලැති සමිඳාණන් වහන්සේගේ මේ වචනය අසන්න.</verse>
				<verse number="6">ඔබේ රජ මැදුරේ ඇති සියල්ලත්, මේ දවස දක්වා ඇති ඔබේ මුතුන්මිත්තන් රැස් කළ සියලු දේත් කිසිවක් ඉතිරි නොකොට, බබිලෝනියට ගෙනයනු ලබන කාලයක් පැමිණෙන්නේ ය.</verse>
				<verse number="7">ඔබේ ම පෙළපතෙන් පැවත එන දරුවන්ගෙන් සමහරෙක් ද ගෙනයනු ලබන්නෝ ය. ඔවුන් නපුංසකයන් මෙන් බබිලෝනියේ රජුට සේවය කරනු ඇතැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.”</verse>
				<verse number="8">මේ කී දේ හෙසකියා තේරුම්ගත්තේ, තමාගේ ම ජීවිත කාලයේ දී සාමයත්, සුරක්ෂිතතාවත් ඇති වේ ය කියා ය. ඒ නිසා, “සමිඳාණන් වහන්සේගේ පණිවුඩය යහපත් ය”යි ඔහු යෙසායාට කීවේ ය.</verse>
			</chapter>
			<chapter number="40">
				<verse number="1">“ සනසන්න, මාගේ සෙනඟ සනසන්නැ”යි ඔබේ දෙවිඳාණෝ වදාරන සේක.</verse>
				<verse number="2">“කරුණාවෙන් ජෙරුසලම් වැසියන්ට කතා කරන්න; හඬ නඟා ඔවුන්ට මෙසේ කියන්න: ඔවුන්ගේ වහල්කමේ කාලය දැන් ඉවර වී ඇත; පව් කමාව ඔවුන්ට ලැබී ඇත. සියලු පව්වලට දඬුවම දෙගුණය බැගින් සමිඳුන්ගේ හස්තයෙන් ම ඔවුන්ට ලැබී ඇත.”</verse>
				<verse number="3">
					මෙසේ කියන හඬට සවන් දෙන්න:
					“වනාන්තරයේ සමිඳුන් හට මාවතක් එළි කරන්න; පාළුකරයේ අපේ දෙවිඳුන් හට මහ පාරක් සාදන්න.
				</verse>
				<verse number="4">සියලු මිටියාවත් පුරවනු ලබන්නේ ය; සියලු කඳු හෙල් කපා පහත් කරනු ලබන්නේ ය; සියලු හෙල් සමතලා කරනු ලබන්නේ ය; රළු තැන් සුමුදු කරනු ලබන්නේ ය;</verse>
				<verse number="5">සමිඳුන්ගේ තේජාලංකාරය එවිට එළිදරව් වන්නේ ය. සකල මිනිස් වර්ගයා එය නරඹන්නෝ ය. මෙසේ වදාළේ සමිඳාණෝ ම ය.”</verse>
				<verse number="6">
					“පණිවුඩයක් ප්‍රකාශ කරන්නැ”යි හඬක් කී ය.
					“කුමන පණිවුඩයක් ප්‍රකාශ කරම් දැ”යි මම ඇසීමි. “සකල මිනිස් වර්ගයා තණ කොළ හා සමාන වෙති; ඔහුගේ සුන්දරතාව වන මල් මෙන් පහ වී යයි.
				</verse>
				<verse number="7">සමිඳුන්ගේ හුස්ම වැදුණ විට තණ කොළ වියළී යයි; මල් පර වෙයි. මිනිස් වර්ගයා ඒ තණ කොළ හා සමාන ය.</verse>
				<verse number="8">තණ කොළ වියළෙයි; මල් පර වෙයි. එහෙත්, අපේ දෙවිඳුන්ගේ වචනය සදහට ම පවතියි.”</verse>
				<verse number="9">සියොන්ට සුබ ආරංචිය ගෙනෙන දූතයාණෙනි, උස් කන්දට නඟින්න; සියොන්ට සුබ ආරංචිය දන්වන්න. ජෙරුසලමට සුබ ආරංචිය ගෙනෙන දූතයාණෙනි, හඬ නඟා ප්‍රකාශ කරන්න; බිය නොවී උස් හඬින්, “ඔබේ දෙවිඳාණෝ වඩින සේකැ”යි ජුදාහි නගරවලට ප්‍රකාශ කරන්න.</verse>
				<verse number="10">
					මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බලපරාක්‍රමයෙන් වඩින සේක.
					වික්‍රමයෙන් පාලනය කරන්න වඩින සේක. ත්‍යාගයන් එතුමාණෝ තමන් සමඟ ගෙන එන සේක. තම සෙනඟට විපාකයන් ප්‍රදානය කරන සේක.
				</verse>
				<verse number="11">
					එඬේරෙකු සේ එතුමාණෝ, තම රැළ පෝෂණය කරන සේක;
					දෑතින් බැටළු පැටවුන් වඩාගෙන, ළයෙහි උන් හොවාගෙන යන සේක; කිරි දෙන බැටළුදෙනුන්ට මඟපෙන්වන සේක.
				</verse>
				<verse number="12">මුහුදේ ජලය අල්ලට ගන්නත්, අහසේ දිග වියතකින් මනින්නත් කිසිවෙකුට හැකි ද? පොළොවේ පස් හුණ්ඩුවක දමන්නත්, කඳු හෙල්වල බර තරාදියකින් කිරන්නත් කිසිවෙකුට හැකි ද?</verse>
				<verse number="13">
					කළ යුතු දේ සමිඳුන්ට කියා දෙන්නත්, එතුමන්ට ගුරුකම් හා අවවාද දෙන්නත්, කිසිවෙකුට හැකි ද?
				</verse>
				<verse number="14">දැනගැන්මත්, අවබෝධයත් ලබාගැනුමටත්, යුතු අයුතු ක්‍රියා මාර්ගය වටහාගැනුමටත් එතුමාණන් සාකච්ඡා කරන්නේ කවරෙකු සමඟ ද?</verse>
				<verse number="15">ජාතීහු සමිඳුන් හට කළයෙන් හැළෙන දිය පොදක් ද තරාදියේ ඇති ධූලි බිඳක් ද හා සමාන ය. දුර පිහිටි දිවයින් තරාදියේ කිරා බලන ධූලි පිඬක් හා සමාන ය.</verse>
				<verse number="16">සමිඳුන් හට දවන යාග පූජාවක් කරන පිණිස ලෙබනොන් වනයේ සියලු ගස් වත් දරට නොසෑහේ. එහි සියලු සත්තු පූජාවට නොසෑහෙති.</verse>
				<verse number="17">සමිඳුන් ඉදිරියේ, සියලු ජාතීහු කිසි වටිනාකමක් නැත. ඔව්හු හිස් ය; ඔවුන්ගේ කිසි වැදගැම්මක් නැත.</verse>
				<verse number="18">
					දෙවිඳාණන් කවරෙකුට සමකළ හැකි ද?
					එතුමන්ගේ හැඩ රුව කෙසේ විස්තර කළ හැකි ද?
				</verse>
				<verse number="19">කම්කරුවෙකු වාත්තු කළ, රන්කරුවෙකු රන් ආලේප කළ රිදී දාමයෙන් සරසන ලද පිළිමයකට එතුමන් සමාන නැත.</verse>
				<verse number="20">වත්කම් ඇති මිනිසෙකු නොදිරන ලීයක් සපයා ගෙන, නිපුණ කම්කරුවෙකු යොදවා ගෙන, තිරසර ලෙස තනාගත් පිළිමයට එතුමන් සමාන නැත.</verse>
				<verse number="21">ලෝකය ආරම්භ වූ අන්දම ගැන ඔබ දන්නේ නැද් ද? අසා නැද් ද? මුල සිට ම ඔබට දන්වා නැද් ද?</verse>
				<verse number="22">ලෝකය මැවුයේ, පොළොවෙන් ඉහළ අහසින් එපිට සිංහාසනයේ වැඩ සිටින තැනැන් වහන්සේ ය. එතුමන්ට ලෝ වැසියන් පෙනෙන්නේ කුරා කුහුඹුවන් සේ ය. මිහිමත වාසය කරන පිණිස එතුමාණෝ අහස ඇතිරිල්ලක් මෙන් විහිදුවා, කූඩාරමක් මෙන් දිගහැර දුන් සේක.</verse>
				<verse number="23">අධිපතීන් නැති නාස්ති කරන්නේත්, ලොවේ පාලකයන් සුණු විසුණු කරන්නේත්, එතුමාණෝ ය.</verse>
				<verse number="24">ඔව්හු වනාහි සිටුවා වැඩි කල් නොගිය, පොළොවේ මුල් ඇද නොගත් ළා පැළෑටි හා සමාන ය. සමිඳාණන් සුළඟක් එවූ විට පිදුරු මෙන් ඒවා වියළී යනු ඇත; ඉපනැලි මෙන් ගසාගෙන යනු ඇත.</verse>
				<verse number="25">සුවිශුද්ධ දෙවිඳුන් සමාන කළ හැක්කේ කවරෙකුට ද? එතුමන්ට සමාන අන් කිසිවෙක් සිටින්නේ ද?</verse>
				<verse number="26">අහස දෙස බලන්න, ඔබට පෙනෙන ග්‍රහ තාරකා මැවුවේ කවරෙක් ද? හමුදාවන් මෙන් ඒවා ගෙන යන්නේ, ඒවායේ ගණන දැන සිටින්නේ, නම් වශයෙන් ඒවා හඳුනන්නේ දෙවිඳාණෝ ය. එතුමන්ගේ බලයේ මහත්කම නිසා ද එතුමන්ගේ ශක්තියේ බලවත්කම නිසා ද එයින් එකක් වත් නැති නොවේ.</verse>
				<verse number="27">අහෝ, ඉශ්රායෙල් සෙනඟෙනි! අහෝ, ජාකොබ්ගේ සෙනඟෙනි! සමිඳාණෝ ඔබේ දුක් නොදන්න සේක කියාත්, ඔබේ අයිතිවාසිකම් නොසලකන සේක කියාත් ඔබ මැසිවිලි කියන්නේ මන් ද?</verse>
				<verse number="28">සමිඳුන්, සදාතන දෙවිඳුන් බවත්, සකල ලෝකය මැවූ බවත්, එතුමන්ට වෙහෙස මහන්සි නොදැනෙන බවත්, එතුමන්ගේ ප්‍රඥාව අචින්ත්‍ය බවත් ඔබ දන්නේ නැද් ද? අසා නැද් ද?</verse>
				<verse number="29">එතුමාණෝ, ක්ලාන්ත වන අයට ශක්තියත්, බෙලහීනයන්ට සවියත් දෙන සේක.</verse>
				<verse number="30">තරුණයෝ පවා දුබල වෙති; යෞවනයෝ පවා වෙහෙස වී වැටෙති.</verse>
				<verse number="31">එහෙත්, සමිඳුන් සරණ යන්නෝ සිය සවිය අලුත් කරගන්නෝ ය; රාජාලීන් මෙන් පියාපත් විදහා යන්නෝ ය; ඔව්හු දුවන්නෝ ය; එහෙත්, වෙහෙස නොවන්නෝ ය; ඇවිදින්නෝ ය; එහෙත්, ක්ලාන්ත නොවන්නෝ ය.</verse>
			</chapter>
			<chapter number="41">
				<verse number="1">දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: “ද්වීපවල හා මුහුදුබඩ වැසියෙනි, මා ඉදිරියේ නිශ්ශබ්ද ව මට සවන් දෙන්න. අධිකරණය ඉදිරියේ නුඹේ නඩුව තබන්න සූදානම් වන්න. කතා කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇත. නිවැරදිකරු කවරෙක් දැ යි විනිශ්චය කිරීමට අපි එක් රැස් වමු.</verse>
				<verse number="2">පෙරදිගින් ජයග්‍රාකයෙකු කැඳවා, දිරි ගන්වා, යන යන තැන ඔහුට ජය අත්පත් කර දුන්නේ කවරෙක් ද? ඔහුට රට රාජ්‍යයන් පාවා දී රජවරුන් ඔහුට යටත් කර දුන්නේ කවරෙක් ද? ඔහු සිය කඩුවෙන් ඔවුන් ධූලි බවටත්, සිය දුන්නෙන් ඔවුන් සුළඟට ගසා යන පිදුරු බවටත් පමුණුවන්නේ ය.</verse>
				<verse number="3">ඔහු, කිසිවකු පා නොතැබූ මාවත්වල ඔවුන් ලුහුබැඳ සුරැකි ව ඉදිරියට යන්නේ ය.</verse>
				<verse number="4">මුල සිට ම ඉතිහාසය යන මාර්ගය නියම කොට මේ සියල්ල සිදු වන්න සැලසුවේ කවරෙක් ද? සමිඳාණන් වන මම ය. ආරම්භයත්, අවසානයත් වන සමිඳාණෝ මම ය.</verse>
				<verse number="5">මා කර ඇති දේ දැක ද්වීප හා මුහුදුබඩ වාසීහු බියෙන් වෙවුළුවෝ ය. ඒ නිසා ඔව්හු එක් රැස් වූ හ.</verse>
				<verse number="6">එක එකා තම තමාගේ අසල්වැසියාට උපකාර කොට, තම තමාගේ සහෝදරයන්ට ‘ධෛර්යවත් වන්නැ’යි කියති.</verse>
				<verse number="7">කම්කරුවා රන්කරුවාට ද මිටියෙන් පිළිමය මට්ටම් කරන්නා කිණිහිරය පිට තළන්නාට ද ධෛර්යය දෙන්නෝ ය. ‘පෑස්සීම හොඳ ය’යි කෙනෙක් කියති. ඔව්හු පිළිමය නොසෙල්වෙන සේ ඇණවලින් සවි කරති.</verse>
				<verse number="8">
					එහෙත්, මාගේ සේවකයා වන ඉශ්රායෙල් ජාතිය, මාගේ මිත්‍රයා වූ ආබ්‍රහම්ගෙන් පැවත එන නුඹ මා තෝරාගත් සෙනඟක් ය.
				</verse>
				<verse number="9">පොළොවේ කෙළවරින් මම නුඹ ගෙනාවෙමි. එහි සීමාවලින් නුඹ කැඳවා, ‘නුඹ මාගේ සේවකයා ය’යි මම කීවෙමි. මම නුඹ ප්‍රතික්ෂේප නොකෙළෙමි. නුඹ තෝරාගත්තෙමි.</verse>
				<verse number="10">බිය නොවන්න; මම නුඹ සමඟ ය. මා නුඹේ දෙවිඳාණන් වන බැවින් තැති නොගෙන සිටින්න. මම නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි. මාගේ ජය හස්තයෙන් නුඹ ආරක්ෂා කර නුඹ ගළවන්නෙමි.</verse>
				<verse number="11">“නුඹ සමඟ වෛර ව සිටි සියල්ලෝ ලජ්ජා වී වියවුල් වන්නෝ ය. නුඹට විරුද්ධ වන්නෝ නැති නාස්ති වී විනාශ වන්නෝ ය.</verse>
				<verse number="12">නුඹ සමඟ විවාදයට එළඹෙන මනුෂ්‍යයෙකු නුඹ සොයන නමුත්, ඔවුන් හමු වන්නේ නැත. නුඹ සමඟ යුද්ධ කරන්නෝ විනාශ වී පොළොවෙන් අතුරුදහන් වන්නෝ ය.</verse>
				<verse number="13">මම නුඹේ දෙවිඳාණෝ ය, ‘බිය නොවන්න, නුඹට පිහිට වන්නෙමි’යි කියමින් මම නුඹ ශක්තිමත් කරන්නෙමි.”</verse>
				<verse number="14">සමිඳාණෝ නුඹේ දකුණත අල්ලාගනිමින් මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල්වරුනි, පණුවෙකු වැනි නුඹලා කුඩා ව, දුර්වල ව සිටියත් බිය නොවන්න. මම නුඹලාට පිහිට වන්නෙමි. නුඹලා ගළවාගන්න, ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණෝ මම ය.</verse>
				<verse number="15">මම නුඹලා මුවහත්, අලුත් දැති ඇති මඬින යන්ත්‍රයක් මෙන් කරන්නෙමි. නුඹලා කඳු මැඬ, පොඩිකර, හෙල් බොල් වී මෙන් කරන්නහු ය.</verse>
				<verse number="16">නුඹලා ඒවා පොළන්නහු ය. එවිට ඒවා, සුළඟට ගසාගෙන යන්නේ ය. සුළි සුළඟින් විසිරී යන්නේ ය. එහෙත්, මම නුඹලාගේ දෙවිඳාණන් වන බැවින් නුඹලා ප්‍රීති වන්නහු ය. ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණන් වන මට නුඹලා ප්‍රශංසා කරන්නහු ය.</verse>
				<verse number="17">අසරණ දිළිඳු අය වතුර සොයා එය නො ලැබ, උගුර කට වේළී පිපාසයෙන් සිටින විට සමිඳාණන් වන මම ඔවුන්ගේ යැදුම්වලට පිළිතුරු දෙන්නෙමි. ඉශ්රායෙල්හි දෙවිඳාණන් වන මම ඔවුන් අත්නාරින්නෙමි.</verse>
				<verse number="18">මම මුඩු කඳු මුදුන්වල ගංගා ගලා යන්න ද මිටියාවත් මැද උල්පත් ඇති වන්න ද සලස්වන්නෙමි. කාන්තාරය මැද දිය පොකුණක් ද වියළි දේශයෙන් උල්පත් ද ඇති කරන්නෙමි.</verse>
				<verse number="19">මම කාන්තාරයෙහි කිහිරි, ෂිටිම්, මරඳ හා ඔලීව හටගන්වන්නෙමි. වනයෙහි දේවදාර, හල් හා සයිප්‍රස් එකට හටගන්වන්නෙමි.</verse>
				<verse number="20">සෙනඟ මෙය දැක, සමිඳුන් වන මා එය කළ බව දැනගන්නෝ ය. ඉශ්රායෙල්හි සුවිශුද්ධ දෙවිඳුන් මේ දේ සිදු කළ බව ඔව්හු තේරුම් ගන්නෝ ය.”</verse>
				<verse number="21">ඉශ්රායෙල්හි නිරිඳාණන් වන සමිඳාණෝ මෙසේ වදාරන සේක: “ජාතීන්ගේ දෙවිවරුනි, නුඹලාගේ නඩුව ඉදිරිපත් කරන්න. නුඹලාගේ බලවත් තර්කයන් ගෙනහැර පාන්න.</verse>
				<verse number="22">මෙහි පැමිණ සිදුවන්න යන දේ ගැන අපට කියන්න. ඒවා සිදු වූ විට අපට දැනගන්න පුළුවන. සිතා බලන පිණිස පසු ගිය දේවල තේරුම අපට කියා දෙන්න.</verse>
				<verse number="23">මතු සිදු වන්න යන දේවල් අපට ප්‍රකාශ කරන්න. එවිට නුඹලා දෙවිවරුන් බව අපට දැනගන්න ලැබෙනු ඇත. අප බිය වී තැතිගන්න පිණිස හොඳක් හෝ නපුරක් හෝ අපට කරන්න.</verse>
				<verse number="24">එහෙත්, නුඹලා නිකම්මු ය; නුඹලාගේ ක්‍රියා බොල් ය. නුඹලා පිළිගන්නෝ පිළිකුලට පත්වෙති.</verse>
				<verse number="25">මම නැගෙනහිරෙන් කෙනෙකු තෝරාගතිමි. පහර දෙන පිණිස උතුරේ සිට මම ඔහු ගෙන එන්නෙමි. කුම්භකාරයා මැටි පාගන්නාක් මෙන් ඔහු මැටි මෙන් පාලකයන් මැඬදමනු ඇත.</verse>
				<verse number="26">අප දැනගන්නා පිණිසත්, ‘නුඹ හරි ය’යි කියන්න පුළුවන් වන පිණිසත්, නුඹලා අතරෙන්, ‘මෙසේ සිදු වේ ය’ කියා කල් මත්තෙන් කීවේ කවරෙක් ද? නුඹලාගෙන් කිසිවෙක් ඒ ගැන වචනයක් වත් නොකීවේ ය. නුඹලා කී දෙයක් ඇසූ කෙනෙක් වත් නැත.</verse>
				<verse number="27">සියොන්ට සුබ ආරංචිය පළමු වරට ප්‍රකාශ කෙළේ මම ය. ‘නුඹලාගේ සෙනඟ එති, ඔව්හු ගෙදර එති’යි ප්‍රකාශ කරන පිණිස ජෙරුසලමට දූතයෙකු යැව්වේ මම ය.</verse>
				<verse number="28">දෙවිවරුන් අතරේ මා සෝදිසි කළ විට ඔවුන්ගෙන් කිසිවෙකුට කියන්න දෙයක් නුවූ බව මට පෙනුණේ ය. මා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔවුන්ගෙන් කිසිවෙකුට නොහැකි විය.</verse>
				<verse number="29">මේ දෙවිවරුන් සියලු දෙනාගෙන් වැඩක් නැත. ඔවුන්ට කිසිවක් කළ නොහැකි ය. ඔවුන්ගේ පිළිම හිස් රූකඩ ය.”</verse>
			</chapter>
			<chapter number="42">
				<verse number="1">“මා සහාය දෙන මාගේ සේවකයා මෙන්න. මට ප්‍රිය වූ මාගේ තෝරාගත් තැනැත්තා මෙන්න. මාගේ ආත්මානුභාවය මා එතුමාට ප්‍රදානය කර ඇත. සියලු ජාතීන්ට එතුමා යුක්තිය ගෙන දෙනු ඇත.</verse>
				<verse number="2">එතුමා උස් හඬින් කතා කරන්නේ වත්, මොරගසන්නේ වත් නැත; වීථිවල ඇසෙන පරිදි හඬ නඟන්නේ නැත;</verse>
				<verse number="3">තැළුණු බට දණ්ඩක් කඩාදමන්නේ නැත; නිවී ගෙන යන පහන් තිරයක් නිවාදමන්නේ නැත.</verse>
				<verse number="4">සැබැවින් ම යුක්තිය ඉටු කරන්නේ ය; එතුමා කලකිරෙන්නේ වත්, අධෛර්ය වන්නේ වත් නැත; මිහි පිට යුක්තිය පිහිටුවන තුරු එතුමාගේ දහම් මඟ උදාවන තුරු දිවයින් බලා සිටිනු ඇත.”</verse>
				<verse number="5">
					අහස් තලය මවා, එය පිහිටෙ වූ ද පොළෝ තලයත් එහි හටගන්න සියල්ලත් නිර්මාණය කළා වූ ද එහි වැසියන් හට පණ නළ දුන්නා වූ ද එහි යන එන සතුන්ට ජීවය දුන්නා වූ ද දෙවි සමිඳාණෝ මෙසේ වදාරන සේක:
				</verse>
				<verse number="6">
					“යුක්තිය පිහිටුවන පිණිස සමිඳාණන් වන මම නුඹ කැඳවාගතිමි.
					මම නුඹ අතින් ගෙන නුඹ හැඩගැසීමි. සෙනඟ හා මා අතර ගිවිසුමක් වන පිණිසත්, සියලු ජාතීන් අතර ආලෝකයක් වන පිණිසත් මම නුඹ පත් කෙළෙමි.
				</verse>
				<verse number="7">මා එසේ කෙළේ, නුඹ අන්ධයන්ගේ ඇස් පහදන පිණිසත්, සිරගෙයි සිරකරුවන් ද දඟගෙයි අඳුරෙහි වසන්නන් ද මුදන පිණිසත් ය.</verse>
				<verse number="8">මම සමිඳාණෝ ය; එය යි මාගේ නාමය. මාගේ තෙද මහිමය අන් දෙවි කෙනෙකුට වත්, මාගේ ප්‍රශංසාව කිසි පිළිමයකට වත් මම නොදෙමි.</verse>
				<verse number="9">බලන්න, පෙර මා කී දේ දැන් සිදු වී ඇත; මතු සිදුවන අලුත් දේ සිදුවන්නත් පෙර මම ඔබට ප්‍රකාශ කරමි.”</verse>
				<verse number="10">සමිඳුන් හට නව ගීයක් ගයන්න. මුළු ලොව පුරා පැසසුම් පතුරුවා හරින්න. මුහුදේ යාත්‍රා කරන, එහි ජීවත් ව සිටින, ද්වීප හා මුහුදුබඩ වැසියෙනි, සමිඳුන් හට පැසසුම් කරන්න.</verse>
				<verse number="11">කාන්තාරය හා එහි නගර ද කේදාර්හි සිටින සෙනඟ ද සේලා නගර වැසි සියල්ලෝ ද කඳු මුදුන්වල සිට ප්‍රීති ඝෝෂා නඟත් වා!</verse>
				<verse number="12">ද්වීප හා මුහුදුබඩ වැසියෙනි, සමිඳුන් හට පැසසුමත්, එතුමන් හට මහිමයත් පිරිනමත් වා!</verse>
				<verse number="13">සමිඳාණෝ බලවතෙකු සේ නික්ම එන සේක; එතුමාණෝ, රණ වීරයෙකු සේ දිරිගන්වන සේක. රණ හඬ පතුරා, සිහ නද නඟා, සතුරන් අබිබවා සිය බලය පෙන්වන සේක.</verse>
				<verse number="14">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම බොහෝ කල් නිශ්ශබ්ද ව මාගේ සෙනඟට පිළිතුරු නොදී සිටියෙමි. ප්‍රසව වේදනා ඇති ස්ත්‍රියක මෙන් හතිදමමින්, සුසුම්ලමින් දැන් මහා හඬින් කෑගසමි.</verse>
				<verse number="15">මම කඳු හා හෙල් පාළු කර, එහි සියලු පලා ජාති වේළී යන්න සලස්වන්නෙමි. ගංගා වැලිකතර කරන්නෙමි. සියලු පොකුණු හිඳී යන්න සලස්වන්නෙමි.</verse>
				<verse number="16">අන්ධයන් ඔවුන් නොදත් මාර්ගයකින් ගෙන යන්නෙමි: ඔවුන් නොදත් මාර්ගවලින් යන්න මම සලස්වන්නෙමි. ඔවුන් ඉදිරියේ අන්ධකාරය ආලෝකයට හරවා, ඇද තැන් ඇද හරින්නෙමි. මම මේ දේවල් නොවරදවා ම කරන්නෙමි. මම ඔවුන් අත් නොහරින්නෙමි.</verse>
				<verse number="17">රූප කෙරෙහි විශ්වාසය තබන, පිළිම දෙවිවරුන් මෙන් සලකන සියලු දෙනා නින්දාවටත්, අධික ලජ්ජාවටත් පත් වන්නෝ ය.”</verse>
				<verse number="18">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “බිහිරෙනි, අසන්න; අන්ධයෙනි, හොඳින් බලන්න.</verse>
				<verse number="19">මාගේ සේවකයාට වඩා බිහිරි වූ වෙන කිසිවෙක් සිටිත් ද? මට කැප වූ, සමිඳුන්ගේ මෙහෙකරුවා තරම් අන්ධ කිසිවෙක් ඇද් ද?</verse>
				<verse number="20">ඉශ්රායෙල්වරුනි, නුඹලා බොහෝ දේ දැක ඇතත් තේරුම් ගෙන නැත. නුඹලාගේ කන් ඇරී ඇතත් නුඹලා සවන් දී නැත.”</verse>
				<verse number="21">සමිඳාණන් සාධාරණ බැවින් එතුමන්ගේ අණපණත් උසස් කොට ගෞරවයට පත් කිරීමට එතුමාණෝ ප්‍රසන්න වූ සේක.</verse>
				<verse number="22">එහෙත්, එතුමන්ගේ සෙනඟ කොල්ලකෑමට ගොදුරු වූ හ. ඔවුන් ඇඳිරි ගෙවල්හි වසනු ලැබ, හිරගෙවල්හි සඟවා තබනු ඇත. ඔව්හු ගළවන්න කිසිවෙකු නැති ව කොල්ලකෑමට ගොදුරු වී සිටිති. ඔව්හු නිදහස් කරන්න කිසිවෙකු නැති ව සොරා කෑමට ගොදුරු වී සිටිති.</verse>
				<verse number="23">මේ දේ අසා, මින්මතු ඊට මැනවින් සවන් දෙන කිසිවෙක් නුඹලා අතරේ සිටිත් ද?</verse>
				<verse number="24">කොල්ලකාරයන් අතට ඉශ්රායෙල්වරුන් භාර දුන්නේ කවරෙක් ද? සමිඳාණෝ නොවන සේක් ද? අප පව් කෙළේ එතුමන්ට විරුද්ධ ව ය. එතුමන්ගේ මාර්ගයෙහි අපි ගමන් නොකෙළෙමු. එතුමන්ගේ අණපණත්වලට අපි කීකරු නොවීමු.</verse>
				<verse number="25">ඒ නිසා එතුමාණෝ සිය කෝපාග්නිය අපට දැනෙන්නත්, යුද්ධයේ දරුණුකම විඳින්නත් සැලැසූ සේක. ගින්නක් මෙන් එතුමන්ගේ උදහස ඉශ්රායෙල් පුරා ඇවිළී ගියේ ය. එහෙත්, ඉශ්රායෙල් එයින් කිසිවක් තේරුම් නොගත්තේ ය. දැවුණු නමුත් එය සිතට නොගත්තේ ය.</verse>
			</chapter>
			<chapter number="43">
				<verse number="1">එම්බා ඉශ්රායෙල් ජනයෙනි, ජාකොබ් වංශයෙනි, නුඹ නිර්මාණය කොට, මවා වදාළ සමිඳාණෝ මෙසේ වදාරන සේක: “බිය නොවන්න; මම නුඹලා මුදාගතිමි. නුඹලාගේ නම කියා මම හඬගැසීමි. නුඹලා මාගේ ය.</verse>
				<verse number="2">නුඹලා ගැඹුරු ජලය මැදින් යන විට මම නුඹලා සමඟ සිටින්නෙමි. නුඹලා ගංගා මැදින් එතෙර වන විට ජලය නුඹලා යට නොකරන්නේ ය. නුඹලා ගිනි මැදින් යන විට දැවී යන්නේ නැත.</verse>
				<verse number="3">මන්ද, මම නුඹලාගේ දෙවිඳාණෝ ය. නුඹලාගේ ගැළවුම්කාරයාණෝ ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ ය. නුඹලා මුදන පිණිස වන්දියක් වශයෙන් මිසරය ද එතියෝපියාව හා ශෙබා ද මම දුනිමි.</verse>
				<verse number="4">නුඹලා මාගේ ඇස් හමුයෙහි වටිනා වස්තුවක් වන බැවින් ද ගරු කටයුතු ව සිටින බැවින් ද මා නුඹලාට පෙම් කරන බැවින් ද නුඹලා මුදන පිණිස දේශයන් හා එහි වැසියන් මම වන්දියක් වශයෙන් දෙන්නෙමි.</verse>
				<verse number="5">බිය නොවන්න; මම නුඹලා සමඟ සිටිමි. දුර නැගෙනහිරෙන් ද ඈත බස්නාහිරෙන් ද නුඹලාගේ සෙනඟ මම රැස් කර ගෙනෙන්නෙමි.</verse>
				<verse number="6">‘මාගේ සෙනඟට යන්න ඉඩ දෙන්නැ’යි උතුරටත්, ‘ඔවුන් නවත්වා නොගන්නැ’යි දකුණටත් මම කියන්නෙමි. මාගේ දූ පුතුන් නමින් කැඳවා, පොළොවේ දුර බැහැර සිට සෑම දිශාවෙන් ඔවුන් ගෙන එන්නෙමි.</verse>
				<verse number="7">ඔව්හු මාගේ ම සෙනඟ ය; මාගේ මහිමය සඳහා නිර්මාණය කොට, මවා වදාළෙමි.”</verse>
				<verse number="8">දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: “අධිකරණය ඉදිරියට මාගේ සෙනඟ කැඳවන්න. ඔවුන්ට ඇස් ඇති නමුත් ඔව්හු අන්ධ ය; ඔවුන්ට කන් ඇති නමුත් බිහිරි ය.</verse>
				<verse number="9">සියලු සෙනඟ එක් රැස් කරන්න. ඔවුන් අතර අනාගතය ගැන කියන්න හැක්කේ කවරෙකුට ද? ඔවුන්ගෙන් කවරෙක් දැන් සිදු වන දේ ගැන කලින් කීවෝ ද? මේ අය තමන් නිවැරදි බවත්, ඔවුන් කියන දේ සත්‍ය බවත් ඔප්පු කරන පිණිස සාක්ෂිකාරයන් ඉදිරිපත් කරත් වා!</verse>
				<verse number="10">ඉශ්රායෙල් ජනයෙනි, නුඹලා මාගේ සාක්ෂිකාරයෝ ය. නුඹලා මාගේ සේවක ජාතිය වශයෙන් මම තෝරාගතිමි. එසේ කෙළේ, නුඹලා මා හඳුනා, අදහාගෙන, තේරුම්ගන්න පිණිසත්, එක ම දෙවියන් වහන්සේ මා බව දැනගන්න පිණිසත් ය. මාගෙන් බැහැර අන් දෙවි කෙනෙක් ඇත්තේ නැත, සිටියේත් නැත, සිටින්නේත් නැත.</verse>
				<verse number="11">එසේ ය, මම පමණක් සමිඳාණන් වහන්සේ ය; මා හැර අන් ගැළවුම්කාරයෙක් නැත.</verse>
				<verse number="12">සිදු වන්න යන දේ මම කලින් දැන්වීමි; ඉන්පසු නුඹලාට පිහිට වන්න මම පැමිණියෙමි. කිසිම විදේශීය දෙවියෙක් ඔබ සමඟ නොසිටියේ ය. මේ බවට නුඹලා මාගේ සාක්ෂිකාරයෝ ය.</verse>
				<verse number="13">මම දෙවියන් වහන්සේ ය; සදහට ම එසේ වෙමි; මාගේ බලයෙන් මිදී යන්න කිසිවෙකුට නොහැකි ය. මා කරන දේ වෙනස් කරන්න කිසිවෙකුට නොහැකි ය.”</verse>
				<verse number="14">ඔබේ මිදුම්කාරයාණන් ද ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණන් ද වන සමිඳාණෝ මෙසේ වදාරන සේක: “නුඹලා ගළවන පිණිස මම බබිලෝනියට විරුද්ධ ව හමුදාවක් යවන්නෙමි. ඔවුන්ගේ නගරයේ දොරටු මම බිඳ හෙළන්නෙමි. බබිලෝනිවරුන්ගේ කෑගැසීම වැලපීමට හැරෙන්නේ ය.</verse>
				<verse number="15">මම සමිඳාණන් වහන්සේ ය; නුඹලාගේ සුවිශුද්ධ දෙවිඳාණෝ ය; ඉශ්රායෙල්වරුනි, නුඹලා මැව්වේ මම ය. මම නුඹලාගේ රජාණෝ ය.”</verse>
				<verse number="16">බොහෝ ඉහත දී සමිඳාණෝ මුහුද මැදින්, මහා ජලය මැදින් පාරක් සෑදූ සේක.</verse>
				<verse number="17">එහි බලවත් හමුදාවක් ද රථවාහන හා අශ්වයන් ද එතුමාණෝ විනාශකළ සේක. ඔව්හු නැඟිටිය නොහැකි සේ එහි වැටුණෝ ය. පහන් තිරයක දැල්ල නිවී යන්නාක් මෙන් ඔව්හු නැතිවී ගියෝ ය.</verse>
				<verse number="18">එහෙත්, සමිඳාණෝ මෙසේ වදාරන සේක: “පසුගිය දේ සිහි නොකරන්න; පෙර වූ දේ ගැන කල්පනා නොකරන්න.</verse>
				<verse number="19">බලන්න, මම අලුත් දෙයක් කරන්නෙමි. එය දැනුදු ඉටු වේ; නුඹලාට එය නොපෙනේ ද? මම කාන්තාරයෙහි පවා මාර්ගයක් සාදා, එහි ජලධාරා ඇති වන්න සලස්වන්නෙමි.</verse>
				<verse number="20">මා විසින් තෝරාගනු ලැබූ මාගේ සෙනඟට වතුර දෙන පිණිස මා කාන්තාරයෙහි ගංගා ගලා යන්න සැලැසූ නිසා හිවලුන් ද පැස්බරුන් ද ඇතුළු වන සත්ත්වයෝ මට ගෞරව කරන්නෝ ය.</verse>
				<verse number="21">ඔව්හු, මා උදෙසා ම, මා විසින් මවන ලද සෙනඟ ය. ඔවුන් මට ප්‍රශංසා කරනු ඇත.”</verse>
				<verse number="22">සමිඳාණෝ මෙසේ වදාරන සේක: “එහෙත්, ඉශ්රායෙල්වරුනි, ජාකොබ් වංශයෙනි, නුඹලා යාච්ඤා කෙළේ මට නොවේ. නුඹලා මා ගැන කලකිරුණහු ය.</verse>
				<verse number="23">නුඹලා දවන යාග පූජා පිණිස බැටළුවන් මා වෙත ගෙනාවේ වත්, නුඹලාගේ යාගවලින් මට ගෞරව කෙළේ වත් නැත. මා ආහාර පූජා ඉල්ලා නුඹලා පිට බරක් තැබුවේ වත්, සුවඳ දුම් පූජා ඉල්ලා, නුඹලා වෙහෙසුවේ වත් නැත.</verse>
				<verse number="24">නුඹලා මා උදෙසා කට්ටකුමංජල් මිලේට ගත්තේ වත්, සත්ත්ව පූජා තෙලෙන් මා තෘප්තිමත් කෙළේ වත් නැත. ඒ වෙනුවට නුඹලාගේ පව්වලින් නුඹලා මට බරක් වී, නුඹලාගේ අයුතුකම්වලින් මා වෙහෙසට පත් කළහු ය.</verse>
				<verse number="25">එහෙත් නුඹලාගේ පව් සිහි නොකොට, නුඹලාගේ වරද කමා කරන දෙවිඳාණෝ මම ය. එසේ කරන්නේ, මම දෙවිඳාණන් වන නිසා ය.</verse>
				<verse number="26">අපි අධිකරණය ඉදිරියට යමු. නුඹලාගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න. නුඹලා නිවැරදි බව ඔප්පු කරන්න නුඹලාගේ විත්තිය කියන්න.</verse>
				<verse number="27">නුඹලාගේ මුල් පියා පව් කෙළේ ය; නුඹලාගේ නායකයෝ ද මට විරුද්ධ ව පව් කළෝ ය.</verse>
				<verse number="28">නුඹලාගේ පාලකයෝ මාගේ ශුද්ධස්ථානය කෙලෙසූ හ. ඒ නිසා ඉශ්රායෙල් ජාතිය විනාශයටත්, ජාකොබ්ගේ වංශය නින්දාවටත් පාවා දුන්නෙමි.”</verse>
			</chapter>
			<chapter number="44">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මාගේ තෝරාගත් සෙනඟ වන, ජාකොබ්ගේ පරපුරෙන් පැවත එන, මාගේ සේවක ඉශ්රායෙල් ජනයෙනි, දැන් සවන් දෙන්න.</verse>
				<verse number="2">නුඹලා මැවූ සමිඳාණන් වහන්සේ මම ය. උපන් දා සිට ම මම නුඹලාට උපකාර කෙළෙමි. බිය නොවන්න. නුඹලා මාගේ සේවකයෝ ය. මා තෝරාගත්, මා ප්‍රේම කරන, මාගේ සෙනඟ ය.</verse>
				<verse number="3">වියළි දේශයට මම වතුර දෙන්නෙමි; කාන්තාරයේ ඇල දොළවල් ගලා යන්න සලස්වන්නෙමි. නුඹලාගේ දරුවන් කෙරෙහි මාගේ ආත්මානුභාවය ද නුඹලාගේ වංශය කෙරෙහි මාගේ ආශීර්වාදය ද මම වගුරුවන්නෙමි.</verse>
				<verse number="4">ඔව්හු වතුර අසල වැඩෙන තණ කොළ මෙන් ද දිය ඔයවල් ළඟ වැඩෙන බට ගස් මෙන් ද සඵල වන්නෝ ය.</verse>
				<verse number="5">සෙනඟ අතරෙන් එක් කෙනෙකු, ‘මා සමිඳාණන් ය’යි කියනු ඇත. තව කෙනෙකු, ‘මා ඉශ්රායෙල් සෙනඟට සම්බන්ධ ය’යි කියනු ඇත. තව කෙනෙකු, තමාගේ අතේ සමිඳුන්ගේ නම කොටාගෙන, තමාත් ‘දෙවිඳුන්ගේ සෙනඟට අයිති ය’යි කියනු ඇත.</verse>
				<verse number="6">
					ඉශ්රායෙල් රජු ද එහි මිදුම්කාරයාණන් ද වන සව් බලැති සමිඳාණෝ මෙසේ වදාරන සේක:
					“මම ආරම්භයත්, අවසානයත් වන්නෙමි; මා හැර අන් දෙවි කෙනෙක් නැත.
				</verse>
				<verse number="7">මා හා සමාන කෙනෙක් ඇත්නම්, මා හමුවේ එය කියත් වා! පටන්ගැන්මේ සිට අග දක්වා සිදු වන දේ පැහැදිලි ලෙස කියන්න හැකි කිසිවෙක් සිටිත් ද?</verse>
				<verse number="8">මාගේ සෙනඟෙනි, බිය නොවන්න; තැති නොගන්න. පුරාණයේ සිට අද දක්වා සිදු වන්නට යන දේ කල්තියා මා ප්‍රකාශ කළ බව නුඹලා දන්නහු ය. නුඹලා මාගේ සාක්ෂිකාරයෝ ය; වෙන දෙවි කෙනෙක් සිටිත් ද? පර්වතයක් වන බලවත් අන් දෙවි කෙනෙකු ගැන අසා ඇද් ද? නැත.”</verse>
				<verse number="9">පිළිම සාදන සියල්ලෝ චපලයෝ ය. ඔවුන් උසස් කොට සලකන දෙවිවරු වැදගැම්මකට නැත. ඒ දෙවිවරුන් නමදින සියල්ලෝ අන්ධ ය, අඥාන ය. ඔව්හු නින්දාවට පැමිණෙන්නෝ ය.</verse>
				<verse number="10">දෙවි කෙනෙකු වශයෙන් නැමදීමට ලෝහ පිළිමයක් වාත්තු කිරීම නිෂ්ඵල ය.</verse>
				<verse number="11">එයට නමස්කාර කරන සියල්ලෝ නින්දාවට පැමිණෙන්නෝ ය. පිළිම සාදන කම්කරුවෝ සාමාන්‍ය මනුෂ්‍යයෝ ය. ඊට වැඩි දෙයක් ඔවුන්ට නැත. ඔව්හු නඩු විනිශ්චයය සඳහා ඉදිරිපත් වෙත් වා. ඔව්හු බිය වී, නින්දා ලබති.</verse>
				<verse number="12">ආචාරියා ලෝහයක් ගෙන එය ගිනියම් කොට තමාගේ බලවත් අතින් මිටියක් ගෙන, එය තළා හැඩගසන්නේ ය. එසේ කිරීමෙන්, සාපිපාසයටත්, වෙහෙසටත් පත් වී ඔහු දුර්වල වන්නේ ය.</verse>
				<verse number="13">වඩුවා නූලක් ගසා, අඳින කටුවකින් ඒක සලකුණු කර, යතුවලින් යතුගා, කවකටුවෙන් සලකුණු කොට, ගෙදර වාසය කරන පිණිස මනුෂ්‍යයෙකුගේ රූපයේ හැටියටත්, මනුෂ්‍යයෙකුගේ ශෝභනකමේ ප්‍රකාරයටත් ඒක සාදන්නේ ය.</verse>
				<verse number="14">මේ රූපය නෙළීම සඳහා ඔහු කිහිරි ගසක් කපා ගන්නේ ය. එසේ නැත්නම්, වනයෙන් තීර්සා ගසක් හෝ ආලෝන ගසක් හෝ තෝරාගෙන එය වනයේ වැඩෙන්න ඉඩ හරින්නේ ය. එසේත් නැත්නම්, දේවදාර ගසක් සිටුවා එය ජලයෙන් පෝෂණය කරන්නේ ය.</verse>
				<verse number="15">එය වැඩුණු විට ගසෙන් කොටසක් ගිනි දැල්වීම පිණිස යොදාගන්නේ ය. ඒ කොටසෙන් ගිනි තපින්නේ ය; එය පත්තු කොට රොටි ද පුළුස්සන්නේ ය. ඉතිරි කොටසින් ඔහු දේව රූපයක් නෙළා ගෙන ඊට නමස්කාර කරන්නේ ය; ඊට වැඳ වැටෙන්නේ ය.</verse>
				<verse number="16">ලී කොටයකින් ඔහු ගින්නක් දල්වාගෙන, කෑම උයාගෙන වළඳා තෘප්තියට පැමිණෙන්නේ ය. ඔහු ගිනි තපිමින්, “මට හරි සනීප යි, මේක කදිම ගින්නකැ”යි කියන්නේ ය.</verse>
				<verse number="17">ඉතිරි ලී කෑල්ලෙන් ඔහු දේව රූපයක් නෙළාගන්නේ ය. ඔහු වැඳ වැටී එයට නමස්කාර කරන්නේ ය. ඔහු එයට යාච්ඤා කරමින්, “ඔබ මාගේ දෙවි තුමා ය. මා ගැළෙව්ව මැනව”යි කියන්නේ ය.</verse>
				<verse number="18">එවැනි අයට ඔවුන් කරන අමන ක්‍රියාව දැනගන්නට තරම් සිහි කල්පනාවක් නැත. සැබෑ දේ කුමක් දැ යි දැනගැනීමට වත්, තේරුම්ගැනීමට වත් නොහැකි වන පරිදි ඔවුන්ගේ ඇස් ද සිත් ද වැසී ඇත.</verse>
				<verse number="19">තමා එක ම ලීයක කොටසකින් දර ලබාගෙන, රොටි පුළුස්සා, මස් බැද කන බවත්, ඉතිරි කොටසින් පිළිකුල් දේව රූපයක් කපාගෙන ලී කඳකට නමස්කාර කරන බවත් දැනගන්නට ඔවුන්ට තේරුමක් නැත.</verse>
				<verse number="20">ඔහු කරන දේ ගඟට ඉණි කැපීමක් වැන්න. ඔහු රැවටී, මුළා වී සිටින බැවින්, ඔහු අතින් අල්ලාගෙන සිටි දේව රූපය කිසි සේත් දෙවි කෙනෙකු නොවන බව ඔහුට තේරුම්ගත නොහැකි ය.</verse>
				<verse number="21">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ජාකොබ් වංශයෙනි, ඉශ්රායෙල්වරුනි, මේ දේවල් සිහි කරන්න. නුඹලා මාගේ සේවකයා බව මතක තබාගන්න. මා නුඹලා මැව්වේ මාගේ සේවකයා වන පිණිස ය. කිසි කලෙක මම නුඹලා අමතක නොකරන්නෙමි.</verse>
				<verse number="22">මම නුඹලාගේ වැරදි වලාකුළක් මෙන් ද, නුඹලාගේ පව් මීදුමක් මෙන් ද පහකර දැමුවෙමි. නුඹලා ගළවන දෙවිඳුන් මා වන බැවින් මා වෙත හැරී එන්න.</verse>
				<verse number="23">ස්වර්ගයෙනි, ගී ගයන්න; පොළොවේ ගැඹුරු තැන්, හඬ නඟන්න. කඳු ද වනය ද එහි සියලු දේ ද ප්‍රීති ශබ්ද නඟන්න. මන්ද, සමිඳාණෝ, ඉශ්රායෙල් නම් සිය සෙනඟ ගළවාගෙන, සිය මහිමතාව ප්‍රකාශ කළ සේක.</verse>
				<verse number="24">නුඹේ මැවුම්කාරයාත්, ගැළවුම්කාරයාත් වන සමිඳාණෝ මම ය. සියල්ලේ මැවුම්කාරයාණන් වන සමිඳාණෝ මම ය. අහස විදහා මැව්වේත්, මම ය. මා පොළොව මැවූ විට කිසිවෙකුගේ උදව්වක් මට වුවමනා නො වී ය.</verse>
				<verse number="25">
					ශාස්ත්‍රකාරයන් මෝඩයන් කරවන්නේත්, පේන කියන්නන් උමතු කරවන්නේත් මම ය.
					පණ්ඩිතයන්ගේ වදන් ප්‍රතික්ෂේප කරන්නේත්, ඔවුන්ගේ දැනුම මෝඩකම බව පෙන්වා දෙන්නේත් මම ය.
				</verse>
				<verse number="26">මාගේ සේවකයා ප්‍රකාශයක් කළ විට, මාගේ අදහස් දන්වන පිණිස දූතයෙකු එවූ විට ඒවා ඉෂ්ට වන්න සලස්වන්නේත් මම ය. ජෙරුසලමට කතා කොට එහි සෙනඟ නැවතත් ප්‍රාණවත් කරන බවත්, ජුදා නගරවලට කතා කොට, නටබුන් වූ නගර නැවත ගොඩනඟන බවත් කියන්නේ මම ය.</verse>
				<verse number="27">මාගේ වචනයේ බලයෙන් මුහුද වියළී යන්නේ ය. ‘වියළී යව’යි මුහුදට අණ කරන්නේත් මම ය.</verse>
				<verse number="28">
					සයිරස්ට කතා කොට, ‘නුඹ මාගේ එඬේරා වන්නෙහි ය;
					මාගේ අදහස් නුඹ ඉටු කරන්නෙහි ය. ජෙරුසලම නැවත ගොඩනඟන්නත්, දේව මාලිගාවේ අත්තිවාරම් දමන්නත් නුඹ නියම කරන්නෙහි ය’යි කියන්නේත් මම ය.”
				</verse>
			</chapter>
			<chapter number="45">
				<verse number="1">සමිඳුන්ගේ අභිෂේක ලත් රජ්ජුරුවෝ සයිරස් ය. ජාතීන් යටත් කිරීමටත්, රජවරුන්ගේ බලය බිඳලීමටත්, සමිඳාණෝ ඔහු සහායට ගත් සේක. නැවත නොවැසෙන පිණිස නගරවල දොරටු සමිඳාණෝ විවෘත ව තබන සේක. එතුමාණෝ සයිරස්ට මෙසේ වදාරන සේක:</verse>
				<verse number="2">“මම නුඹට පෙරටුවෙන් ගොස් කඳු සමතලා කොට, ලෝකඩ දොරටු බිඳදමා, යකඩ අගුල් කඩාදමන්නෙමි.</verse>
				<verse number="3">නුඹේ නම කියා කැඳවන්නේ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුන් වන මා බව නුඹ දැනගන්න පිණිස සඟවා ඇති වස්තු ද රහස් තැන්වල නිධාන ද නුඹට දෙන්නෙමි.</verse>
				<verse number="4">මා තෝරාගත් සෙනඟක් වන මාගේ සේවක ඉශ්රායෙල්වරුන්ට උපකාර කරන පිණිස මම නුඹ පත් කෙළෙමි.</verse>
				<verse number="5">මම සමිඳාණන් වහන්සේ ය; අන් කෙනෙක් නැත. මා හැර අන් දෙවි කෙනෙක් නැත. නුඹ මා නොදන්න නමුත්, මම නුඹ ශක්තිමත් කරන්නෙමි.</verse>
				<verse number="6">මා එසේ කරන්නේ, මා හැර අන් දෙවි කෙනෙකු නැති බව නැගෙනහිර සිට බස්නාහිර දක්වා සිටින සියලු දෙනා දැනගන්න පිණිස ය. මම සමිඳාණන් වහන්සේ ය, මා හැර අන් දෙවි කෙනෙක් නැත.</verse>
				<verse number="7">ආලෝකය දෙන්නේ මම ය; අන්ධකාරය දෙන්නේත් මම ය; සැපත දෙන්නේ මම ය; විපත දෙන්නේත් මම ය. මේ සියල්ල කරන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="8">එම්බා අහස් තලය! වැසි වලාකුළක් මෙන් දැහැමිකම වස්වන්න. ගැළවීම හටගන්න පිණිස පොළොව විවර වේ වා! විමුක්තියේ මල් ද එහි පිබිදේ වා! ස්වාමීන් වන මම මෙය සිදු වන්න සලස්වන්නෙමි.”</verse>
				<verse number="9">මැවුම්කරුන් සමඟ වාද කරන්නාට වන විපතක මහත! කුඹල්කරුවා සමඟ බඳුන වාද කරයි ද? නුඹ කරන්නේ කුමක් ද කියමින්, මැටි පිඬ එය අඹන්නාගෙන් විමසමින් පොරට සිට ඔහුගේ දස්කම ගැන චෝදනා කරයි ද?</verse>
				<verse number="10">නුඹ ජනිත කරන්නේ කුමක් ද කියා පියාට කියන දරුවෙකුට ද නුඹ බිහි කරන්නේ කුමක් ද කියා මවට කියන බිළිඳෙකුට ද වන විපතක මහත!</verse>
				<verse number="11">ඉශ්රායෙල්වරුන්ගේ මැවුම්කාර සුවිශුද්ධ සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මාගේ දරුවන් ගැන මාගෙන් ප්‍රශ්න කරන්න වත්, මා කළ යුතු දේ ගැන මට කියා දෙන්න වත් නුඹලාට අයිතියක් කොහෙන් ද?</verse>
				<verse number="12">පොළොව නිර්මාණය කෙළේ මම ය; ඒ පිට මිනිසුන් මැව්වේ මම ය; අහස විදහා පෑවේ මම ය; ආකාශ වස්තූන් හසුරුවන්නේත් මම ය,</verse>
				<verse number="13">මාගේ අරමුණ ඉටු කරන පිණිසත්, සියල්ල මනා සේ සකස් කරන පිණිසත් මම සයිරස් උනන්දු කරවීමි. ඔහු යන මාර්ගය සමතලා කරන්නෙමි; මගේ නගරය ඔහු ගොඩනඟා වස්තුවක් හෝ අල්ලසක් හෝ නොගෙන වහල් වූවන් මුදාගෙන එනු ඇත.”</verse>
				<verse number="14">සමිඳාණෝ ඉශ්රායෙල්වරුන්ට මෙසේ වදාරන සේක: “මිසරයේ හා එතියෝපියාවේ වස්තු සම්භාරය නුඹලාට අයිති වනු ඇත. උස මිනිසුන් වන ෂෙබාවරු නුඹලා වෙත පැමිණ නුඹලාගේ වහල්ලු වන්නෝ ය. ඔව්හු නුඹලා පසුපස්සේ දම්වැල්වලින් බඳිනු ලැබ නුඹලා වෙත පැමිණ වැඳ වැටී, ‘සැබැවින් ම ඔබ වෙත දෙවිඳාණෝ වැඩ සිටින සේක. එතුමාණන් හැර වෙන දෙවි කෙනෙක් නැතැ යි කන්නලව් කරන්නෝ ය.</verse>
				<verse number="15">සිය සෙනඟ ගළවන ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳාණෝ සැබැවින් ම නොපෙනී සිටින දෙවි කෙනෙකැ’යි කියන්නෝ ය.</verse>
				<verse number="16">දේව රූප සාදන සියල්ලෝ ම ලජ්ජාවටත්, නින්දාවටත් පත් ව වියවුල් බවට පැමිණෙන්නෝ ය.</verse>
				<verse number="17">එහෙත්, ඉශ්රායෙල්වරු සමිඳුන් විසින් ගළවනු ලැබූ හ. ඔවුන්ගේ ජයග්‍රහණය සදහට ම පවතින්නේ ය. සෙනඟ ලජ්ජාවටත්, නින්දාවටත් කිසි කලක නොපැමිණෙති.</verse>
				<verse number="18">සගලෝ මැවූ, පොළොව සාදා එය නිම කළ, පාළු ඉඩමක් ලෙස නොව, විසුමට තැනක් ලෙස පොළොව මැවූ එක ම දෙවි වන සමිඳාණෝ මෙලෙස වදාරන සේක: “මම සමිඳුන් වෙමි; හුදෙක් මා හැර අන් දෙවි කෙනෙක් නැත.</verse>
				<verse number="19">මා කතා කෙළේ රහසින් නොවේ; ලොවේ අඳුරු තැනක දී නොවේ. අවුල් වියවුල් ඇති තැනක දී මා සොයන්න ඉශ්රායෙල්වරුන්ට නොකීවෙමි. මම සමිඳු වෙමි; මම සත්‍යය වදාරමි; මම යුක්තිය ප්‍රකාශ කරමි.”</verse>
				<verse number="20">සමිඳාණෝ මෙසේ වදාරන සේක: “ජාතීන් අතරේ ගැළවී සිටින සියල්ලෙනි, එක් රැස් ව ළඟා වෙත් වා! ලී රූප උසුලාගෙන යන, ගැළවීම ගෙන දෙන්න නොහැකි, දෙවිවරුන් යදින අයට නැණ නුවණ නැත.</verse>
				<verse number="21">ඉදිරියට අවුත් නුඹලාගේ නඩුව දන්වා එකිනෙකා සමඟ මන්ත්‍රණය කරගනිත් වා! සිදුවන්න යන දේ බොහෝ ඉහත දී කීවේ කවරෙක් ද? එසේ කෙළේ සමිඳාණන් වන මම නොවෙම් ද? මා හැර අන් දෙවි කෙනෙක් නැත. මම ධර්මිෂ්ඨ ගැළවුම්කාර දෙවිඳාණෝ ය; වෙන දෙවි කෙනෙක් ඇත්තේ ම නැත,</verse>
				<verse number="22">ලෝ වැසි සියල්ලෙනි, මා වෙත එන්න; දැන් මාගේ ගැළවීම ලබාගන්න. මා හැර අන් දෙවි කෙනෙක් නොමැත.</verse>
				<verse number="23">
					මාගේ මුවින් ගිලිහෙන කිසිදු වචනයක් වෙනස් නොවේ;
					එය සත්‍යයකි. ‘සියලු දණ හිස් මට නැමෙන බව, සියලු දිව් මා ගැන දිවුරන බව සහතික ලෙස දිවුරා කියමි.’
				</verse>
				<verse number="24">මා තුළින් පමණක් ශක්තිය හා දැහැමිකම ඇති වේ යයි ඔවුන් කියනු ඇත. මට විරුද්ධ ව නැඟිටින අය නින්දා දුක් විඳිනු ඇත.</verse>
				<verse number="25">ඉශ්රායෙල්වරුන්ගේ සකල පරපුර මා තුළින් දමිටු කරනු ලැබ මා හට පැසසුම් දෙනු ඇත.”</verse>
			</chapter>
			<chapter number="46">
				<verse number="1">“බේල් හා නෙබෝ යන දෙවිවරුන් දැන් පහතට වැටී ඇත. වෙහෙස වී සිටින ගවයන් පිට පටවා ඇති ඒවා බරක් ය.</verse>
				<verse number="2">මේ දෙවිවරුන් දැන් පහතට වැටී ඇත. ගැළවීම ගෙන දෙන්න ඔවුන්ට නොහැකි ය. ඔවුන් ම වහල්කමට ගොස් ඇත.</verse>
				<verse number="3">උපන් දා සිට මා විසින් උසුලාගෙන යන ලද ජාකොබ්ගේ වැසියෙනි! ඉශ්රායෙල් පරපුරේ ඉතා කුඩා පිරිස ව සිටින ඉශ්රායෙල් ජනයෙනි! මට සවන් දෙන්න.</verse>
				<verse number="4">නුඹලා මහලු වී හිස කෙස් පැසී යන තෙක් මම නුඹලා රැක බලාගන්නෙමි; මම නුඹලා මැව්වෙමි; මම නුඹලා රැක බලා උපකාර කොට නුඹලා ගළවන්නෙමි.</verse>
				<verse number="5">නුඹලා මා සමාන කරන්නේ කවරෙකුට ද සසඳා බලන්න: මා හා සම කිසිවෙක් ඇද් ද?</verse>
				<verse number="6">වස්තුකාරයෝ තමන්ගේ පසුම්බි හැර, රන් රිදී ගෙන තරාදියෙන් කිරා, රන් කරුවෙකු කුලියට ගෙන, දෙවි රූපයක් ඔහු ලවා සාදවා, වැඳ වැටී ඊට නමස්කාර කරති.</verse>
				<verse number="7">ඔව්හු එය කර පිට තබා, උසුලාගෙන ගොස් ඊට නියම තැනක තබති. ඒ රූපයට සෙලවෙන්න වත් නොහැකි ව එතැන ම රැඳී තිබේ. යාච්ඤා කළත් පිළිතුරු දෙන්න වත්, විපතින් යමෙකු ගළවන්න වත් එයට බැරි ය.</verse>
				<verse number="8">ද්‍රෝහි ජනයෙනි, මේ දේ සිහි කොට මා කර ඇති දේ සිතට ගන්න.</verse>
				<verse number="9">පුරාණයේ සිදු වූ දේ සිහි කරගෙන මා පමණක් දෙවිඳාණන් බව, මා හා සමාන අන් කිසිවෙකු නැති බව පිළිගන්න.</verse>
				<verse number="10">අවසානය තෙක් කුමක් වන්නේ දැ යි පටන්ගැන්මේ සිට ම මම කීවෙමි. සිදු වන්න යන දේ පුරාණයේ සිට ම මම ප්‍රකාශ කෙළෙමි. මා අදහස් කළ දේ නොවරදින බවත්, මා ඉටාගත් හැම දේ ඉටු කරන බවත් මම කීවෙමි.</verse>
				<verse number="11">මම නැගෙනහිරෙන් මිනිසෙකු කැඳවන්නෙමි. ඔහු ගිජු උකුස්සෙකු සේ කඩා වැදී මා අදහස් කළ දේ ඉටු කරන්නේ ය. මා කියා ඇති දේ මා යෝජනා කළ දේ එසේ ම සිදු වන්නේ ය.</verse>
				<verse number="12">ගැළවීමෙන් ඉතා ඈත් ව සිටින දැඩි සිත් ඇත්තෙනි, මට සවන් දෙන්න.</verse>
				<verse number="13">ගැළවීමේ දවස මම ළඟා කරන්නෙමි. එය වැඩිදුර නොවේ; මාගේ ජය ප්‍රමාද නොවේ. මම ජෙරුසලමට ගැළවීම ගෙන දී මාගේ ගෞරවය ඉශ්රායෙල්වරුන්ට පවරන්නෙමි.”</verse>
			</chapter>
			<chapter number="47">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “කන්‍යාවක වැනි බබිලොන් දුව බැස අවුත් බිම දූවිල්ලේ හිඳගන්න. බබිලොන් අඟන! සිංහාසනයෙන් බැස අවුත් බිම හිඳගන්න. තවත් නුඹ ‘සුමුදු සුවිනීත ලතාවකැ’යි කියනු නොලබන්නෙහි ය.</verse>
				<verse number="2">ඇඹරුම් ගල් ගෙන පිටි අඹරන්න. මුහුණු වැස්ම ඉවත දමන්න. උඩ සළුව ගලවාදමා, කකුල් නග්න ව තබාගෙන, ගංගාවලින් එගොඩ වී යන්න.</verse>
				<verse number="3">නුඹේ නග්න භාවය පෙනෙන්නේ ය; නුඹේ ලජ්ජාව එළි වන්නේ ය. මම පළිගන්නෙමි. කිසිවෙකුට මා නතර කළ නොහැකි ය.</verse>
				<verse number="4">ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ අප නිදහස් කරන සේක. එතුමාණන්ගේ නාමය සව් බලැති සමිඳාණෝ ය.</verse>
				<verse number="5">බබිලොන් අඟන නිශ්ශබ්ද ව අන්ධකාරයට ඇතුළු වන්න. තවත් ‘නුඹ ජාතීන්ගේ රැජින ය’යි නොකියනු ලබන්නෙහි ය.</verse>
				<verse number="6">මම මාගේ සෙනඟ කෙරෙහි උදහස් වී, ඔවුන් මට අයිති නැති හැටියට සලකා නුඹ අතට පාවා දිනිමි. නුඹ ඔවුන්ට කිසි ම අනුකම්පාවක් නොපෙන්වා, මහල්ලන්ට පවා ඉසිලිය නොහැකි බර පැටෙව්වෙහි ය.</verse>
				<verse number="7">නුඹ සැම කල්හි ම රැජිනක ව සිටිනු ඇතැ යි සිතා, මේ දේවල් සිතට ගත්තේ වත්, ඒවායේ ප්‍රතිඵල සිහි කෙළේ වත් නැත.</verse>
				<verse number="8">
					‘සැප ජීවිකාවට ඇලුම් ව සුරක්ෂිත ව සිටිමි.
					මට වඩා මහේශාක්‍ය කෙනෙක් නැත; කිසි කලක දරුවන් නැති වී වියෝ දුකට පත් වූ කෙනෙක් හෝ වැන්දඹුවක් හෝ නොවන්නෙමි’යි තමන් තුළ සිතූ බබිලෝනිය, මෙයට සවන් දෙන්න.
				</verse>
				<verse number="9">මේ කරුණු දෙක ම එනම්, දරුවන් නැති වීම ද වැන්දඹුවක වීම ද එක දවසේ හදිසියේ ම නුඹට පැමිණෙන්නේ ය. එය වැළැක්වීමට නුඹේ යන්ත්‍ර මන්ත්‍රවලින් හා සිව් සැට මායම්වලින් වැඩක් වන්නේ නැත.</verse>
				<verse number="10">නුඹ දුෂ්ටකමෙහි නිරත වී සිට කිසිවෙකු නුඹ නොදකිති යි සිතුවෙහි ය. නුඹේ ප්‍රඥාව හා දැනුම නිසා නුඹ මුළා වී, ‘මට වඩා මහේශාක්‍ය කෙනෙක් නැතැ’යි කියාගත්තෙහි ය.</verse>
				<verse number="11">ඒ නිසා විපත්ති නුඹ පිට පැමිණෙන්නේ ය. එය මන්ත්‍රයකින් නවත්වන්න නොහැකි ය. නුඹට වළක්වන්න බැරි නාස්තියක් නුඹ පිට පැමිණෙන්නේ ය. නුඹ නොසිතූ විරූ විනාශයක් හදිසියෙන් නුඹ පිට වැටෙන්නේ ය.</verse>
				<verse number="12">නුඹ තරුණ කාලයේ සිට ම වෙහෙස මහන්සි දරා, පුරුදුපුහුණු කළ නුඹේ මන්ත්‍ර හා මායම් භාවිත කරන්න. සමහරවිට ඒවායින් නුඹට යම් වාසියක් ලැබෙනු ඇත. සමහරවිට ඒවායින් නුඹේ සතුරන් බිය ගැන්විය හැක.</verse>
				<verse number="13">ඉතින් නක්ෂත්‍රකාරයෝ ද නැකත් බලන්නෝ ද අමාවක් දවස්වල දී ශුභ අශුභ කියන්නෝ ද ඉදිරියට පැමිණ නුඹට සිදු වන්න යන දෙයින් නුඹ ගළවා ගනිත් වා! ඔවුන්ගේ අවවාද නුඹ ලැබූ නමුත්, ඒවායින් නුඹ වෙහෙසට පත් වී ඇත.</verse>
				<verse number="14">ඔව්හු ඉපනැලි මෙන් වන්නෝ ය; ගින්න ඔවුන් දවන්නේ ය. ගිනි දැල්ලේ බලයෙන් තමන් ම ගළවාගන්න ඔවුන්ට නොහැකි ය. ඒ ගින්න වනාහි තපින පිණිස අඟුරු ගොඩක් වත්, ළං වී සිට උණුසුම ලබන පිණිස ගින්නක් වත් නොවන්නේ ය.</verse>
				<verse number="15">තරුණ කාලයේ සිට නුඹ පුහුණු වීමට වෙහෙස ගනිමින් ඇසුරු කළ මේ දෛවඥයන්ගේ අවවාදවලින් නුඹට කිසි වැඩක් සිදු නොවේ. ඔව්හු නුඹ අත්හැරදමා වෙන අතක් බලා යන්නෝ ය. නුඹ ගළවන්න කිසිවෙක් නොවෙති.”</verse>
			</chapter>
			<chapter number="48">
				<verse number="1">ජුදා වංශයෙන් පැවත එන, ඉශ්රායෙල් යන නම දරන ජාකොබ් පුත්‍රයෙනි, මෙයට සවන් දෙන්න. නුඹලා සමිඳුන්ගේ නාමයෙන් දිවුරන නමුත්, එසේ කරන්නේ අවංක සිතින් වත්, දැහැමිකමින් වත් නොවේ.</verse>
				<verse number="2">එසේ වුවත්, නුඹලා ශුද්ධ නුවරට අයිති යයි ද ‘සව් බලැති සමිඳාණෝ’ යන නම දරන ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් සරණ ගෙන ඇතැ යි ද කියමින් පාරට්ටු කරගන්නහු ය.</verse>
				<verse number="3">සමිඳාණෝ ඉශ්රායෙල්වරුන්ට මෙසේ වදාරන සේක: “අතීතයේ සිට සිදු වූ සෑම දෙයක් ම මා මුවින් නුඹලාට ප්‍රකාශ කෙළෙමි. මා ක්‍රියා කළ විගස ම ඒවා සිදු විය.</verse>
				<verse number="4">යකඩ මෙන් දැඩි සිතක් ඇති, ලෝකඩ මෙන් බොරු ආටෝපයක් ඇති නුඹලා, මුරණ්ඩු සෙනඟක් බව දැන සිටියෙමි.</verse>
				<verse number="5">නුඹට සිදු වන්න යන දේ, සිදු වන්න බොහෝ කල් තියා, පුරාණයේ සිට ම මම නුඹට දැන්වීමි. මා එසේ දැන්වූයේ, ‘නුඹලාගේ දේව රූප ඒවා සිදු කෙළේ ය’ කියා ද, ‘නුඹලාගේ කැටයම් රූප සහ වාත්තු කළ පිළිම ඒවා කෙළේ ය’ කියා ද නුඹට කියන්න බැරි වන පිණිස ය.</verse>
				<verse number="6">මා පෙර කී සියලු දේ දැන් සිදු වී ඇත. මාගේ අනාවැකි සිදු වී ඇති බව නුඹ පිළිගත යුතු ය. දැන්, මම කලින් නුඹට ප්‍රකාශ නොකළ මතු සිදු වන්න යන අලුත් දේවල් ප්‍රකාශ කරමි.</verse>
				<verse number="7">ඒවා සිදු වන්න මා සලස්වන්නේ දැන් ය. පෙර එවැන්නක් සිදු නො වී ය. සිදුවිණි නම්, නුඹලා ඒ ගැන දැන සිටියහු යයි කියනු ඇත.</verse>
				<verse number="8">මේ ගැන කිසිවක් නුඹ ඇසුවේ වත්, ඒ ගැන දැනගත්තේ වත්, ඒ ගැන කිසිදු වචනයක් නුඹේ කනේ වැකුණේ වත් නැත්තේ, නුඹ විශ්වාස කළ නොහැකි බවත්, උපන් දා සිට නුඹ ද්‍රෝහියෙකු ව සිටි බවත් මා දැන සිටි නිසා ය.</verse>
				<verse number="9">මාගේ නමට සෙනඟ ප්‍රශංසා කරන පිණිස, මාගේ කෝපයට ඉඩ නො දී එය වළලවා මම නුඹ විනාශ නොකෙළෙමි.</verse>
				<verse number="10">ගිනි උදුනක රිදී මෙන් නොව ශෝකය නමැති ගින්නෙන් මම නුඹ සෝදිසිකර බැලුවෙමි.</verse>
				<verse number="11">මා කරන දේ මා කරන්නේ මා උදෙසා ම ය. මාගේ නාමය කෙලෙසන්නට වත්, මට ම අයිති, මට පමණක් හිමි, මාගේ ගෞරවය වෙන කිසිවෙකුට ගන්න වත් මම ඉඩ නොදෙමි.”</verse>
				<verse number="12">“මා කැඳවාගත් ඉශ්රායෙල් ජනයෙනි, ජාකොබ් පුත්‍රයෙනි, මට සවන් දෙන්න. පටන්ගැන්ම මම ය; අවසානය ද මම ය; දෙවිඳාණෝ මම ය.</verse>
				<verse number="13">පොළොවේ අත්තිවාරම් මාගේ අතින් ම මම දැමුවෙමි. මාගේ දකුණතින් අහස විහිදුවා පිහිටුවෙමි. මා ඒවාට අඬගැසූ විට ඒවා මා ඉදිරියට පැමිණේ.</verse>
				<verse number="14">නුඹලා සියලු දෙනා රැස් ව සවන් දෙන්න. මා තෝරාගත් තැනැත්තා බබිලෝනියට පහර දී, මා කියන දේ කරන බවට නුඹලාගේ දෙවිවරුන්ගෙන් කිසිවෙක් වත් අනාවැකියක් කීවෝ ද?</verse>
				<verse number="15">ඔහුට කතා කොට, ඔහු කැඳවූ තැනැන් වහන්සේ මම ය. ඔහුට මඟපෙන්වා ජය අත්කර දුන්නේ මම ය.</verse>
				<verse number="16">දැන් මා ළඟට පැමිණ මා කියන දේට සවන් දෙන්න. මම කිසිවක් නොසඟවා මුල සිට ම ප්‍රකාශ කෙළෙමි, මුල සිට ම මැවීම සමඟ මම සිටියෙමි.” ‘දෙවි සමිඳාණෝ සිය බලය මට දී මා එවූ සේකැ’යි සයිරස් කීවේ ය.</verse>
				<verse number="17">නුඹලාගේ මිදුම්කාරයාණන් ද ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ ද වන සමිඳාණෝ මෙසේ වදාරන සේක: “නුඹලාගේ යහපත පිණිස නුඹලාට උගන්වන, යා යුතු හරි මඟ නුඹලාට පෙන්වන, නුඹලාගේ දෙවි සමිඳාණෝ මම ය.</verse>
				<verse number="18">නුඹලා මාගේ ආඥාවලට සවන් දුන්නහු නම්, මාගේ ආශීර්වාද නොසිඳී ගලන ගඟක් සේ නුඹලා කරා ගලා එන්නේ ය. මුහුදේ රළ පතර මෙන් දැහැමිකම නුඹලා වෙත පැමිණෙන්නේ ය.</verse>
				<verse number="19">නුඹලාගේ දරු පරම්පරාව වැලි ඇට මෙන් බහුල වන්නෝ ය. ඔවුන්ගේ නම මැකී යන්නේ වත්, මා ඉදිරියෙන් ඔවුන් කිසි කලක විනාශ වන්නේ වත් නැත.”</verse>
				<verse number="20">
					නිදහස ලබා, බබිලෝනියෙන් පිට වී යන්න.
					බබිලෝනිවරුන් වෙතින් බේරී යන්න. “සමිඳාණෝ සිය සේවක ඉශ්රායෙල් මුදාගත් සේකැ”යි කියමින් ප්‍රීති ඝෝෂා පවත්වා ලොව පුරා පතුරුවන්න.
				</verse>
				<verse number="21">සමිඳාණන් වහන්සේ සිය සෙනඟ පාළුකරය මැදින් ගෙන ගිය විට ඔවුන්ට පිපාසයක් නො වී ය. එතුමාණෝ ඔවුන් උදෙසා පර්වතයකින් වතුර ගලන්න සැලැස්සූ සේක. එතුමන් පර්වතය විවර කළ විට වතුර ගලා ආයේ ය.</verse>
				<verse number="22">
					“අදමිටුවන්ට සාමය අහිමි වේ ය”යි සමිඳාණෝ වදාරන සේක.
				</verse>
			</chapter>
			<chapter number="49">
				<verse number="1">මුහුදුබඩ වැසියෙනි, මාගේ බස් අසන්න. ඈත සිටින ජනයෙනි, මට සවන් දෙන්න. මා උපදින්නත් පෙර මවුකුසෙහි සිටිය දී සමිඳාණෝ මා තෝරාගෙන එතුමන්ගේ සේවකයා වන පිණිස මා පත්කළ සේක.</verse>
				<verse number="2">
					එතුමාණෝ මාගේ වචන තියුණු කඩුවක් මෙන් කළ සේක.
					සිය අතේ සෙවණැල්ලෙහි මා ආරක්ෂා කළ සේක. එතුමාණෝ මා මුවහත් කළ ඊගසක් මෙන් කළ සේක. සිය කොපුවේ මා සඟවා තැබූ සේක.
				</verse>
				<verse number="3">එතුමාණෝ කතා කොට, “ඉශ්රායෙල්, නුඹ මාගේ සේවකයා ය, නුඹ මඟින් සෙනඟ මාගේ මහිමය ප්‍රකාශ කරනු ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="4">මම කතා කරමින්, “මම නිකරුණේ වෙහෙසුණෙමි; මාගේ මුළු ශක්තිය යෙදූ නමුත්, කිසිවක් අත්පත් කර නොගතිමි”යි කීවෙමි. එසේ වුව ද, මාගේ විනිශ්චයය සමිඳුන් අතේ ඇති බවත්, මාගේ විපාකය දෙවිඳුන් අතේ ඇති බවත් මට සහතික ය.</verse>
				<verse number="5">මා උපදින්නටත් පෙර තමන්ගේ සෙනඟ ආපසු ගෙනෙන පිණිසත්, විසිර සිටින ඉශ්රායෙල් ජනයා, ජාකොබ්ගේ වංශය එක් රැස් කරන පිණිසත් සේවකයෙකු වශයෙන් සමිඳාණෝ මා පත් කළ සේක. සමිඳාණෝ මට ගෞරවය දෙන සේක. එතුමාණෝ මාගේ ශක්තිය වන සේක.</verse>
				<verse number="6">
					එතුමාණෝ මට මෙසේ වදාළ සේක:
					“ඉතිරි ව සිටින ඉශ්රායෙල්වරුන් එනම්, ජාකොබ් වංශයේ ජනයා නැඟිටුවා පුනරුත්ථාපනය කිරීමට මාගේ සේවකයා ලෙස නුඹ පත් කිරීම සුළුපටු දෙයක් නොවනු ඇත. එනම්, මුළු ලොව ගළවනු පිණිස සියලු ජාතීන් හට නුඹ ආලෝකයක් වන්න මම සලස්වන්නෙමි.”
				</verse>
				<verse number="7">ඉශ්රායෙල්වරුන්ගේ මිදුම්කාරයා ද ඔවුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ ද වන සමිඳාණෝ මිනිසුන් විසින් සුළු කරනු ලැබූ, ජාතීන් විසින් පිළිකුල් කරනු ලැබූ, ආණ්ඩුකාරයන්ගේ සේවකයෙකු වූ තැනැත්තාට මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවි සමිඳාණන් සිය සේවකයා වන නුඹ තෝරාගත් බව දකින රජවරුන් විශ්වාසවන්ත ඒ සමිඳාණන් නිසා නුඹට ගරු කරන්න නැඟිටිනු ඇත; අධිපතීන් නුඹට නමදිනු ඇත.”</verse>
				<verse number="8">සමිඳාණෝ මෙසේ වදාළ සේක: “සුදුසු කාලයේ දී මම නුඹට පිළිතුරු දී, ගැළවීමේ දවසේ දී නුඹට උපකාර කරන්නෙමි. මම නුඹ ආරක්ෂාකර, නුඹ මඟින් සියලු මිනිසුන් සමඟ ගිවිසුමක් කරන්නෙමි. දැනට පාළු වී ඇති නුඹේ දේශය නැවත උරුම කරගන්න මම නුඹට දෙන්නෙමි.</verse>
				<verse number="9">හිරකරුවන්ට, ‘නිදහස් ව යන්න’ කියා ද අඳුරේ සිටින්නන්ට, ‘ආලෝකයට එන්න’ කියා ද මම කියන්නෙමි. හැම මාර්ගයක දී ම ඔවුන්ට කෑම ලැබෙයි. ඔවුන් යන කවර මාවතක දී වුව ද පාළු වී ගිය කඳු මුදුන් පිට ඔවුන්ට ආහාර ඇති වේ.</verse>
				<verse number="10">
					ඔවුන්ට සාපිපාසා නොවන්නේ ය.
					ගිනි අව්වෙන් වත්, මරුකතරෙන් වත් ඔවුන්ට පීඩාවක් නොවන්නේ ය. මන්ද, ඔවුන්ට අනුකම්පා කරන තැනැන් වහන්සේ ඔවුන්ට මඟපෙන්වන සේක. දිය උල්පත් අසලින් ඔවුන් කැඳවාගෙන යන සේක.
				</verse>
				<verse number="11">මම කඳු හරහා මහා මාවත් සාදා මාගේ සෙනඟ ගමන් කරන පිණිස මාර්ගයක් සූදානම් කරන්නෙමි.</verse>
				<verse number="12">මාගේ සෙනඟගෙන් සමහරෙක් දුර බැහැර සිට පැමිණෙති; සමහරෙක් උතුරෙන් හා බස්නාහිරෙන් ද සමහරෙක් සීන්වරුන්ගේ දේශයෙන් ද පැමිණෙති.”</verse>
				<verse number="13">සගලෝ ගී ගයා වා! පොළොව ප්‍රීති වේ වා! කඳු ප්‍රීතියෙන් පිනා යේ වා! මන්ද, සමිඳාණෝ සිය සෙනඟ සනසන සේක; දුක් විඳින සෙනඟට අනුකම්පා කරන සේක.</verse>
				<verse number="14">එහෙත්, ජෙරුසලම් වැසියෝ, “සමිඳාණෝ අප අත්හළ සේක; අප මතක නැති කළ සේකැ”යි කී හ.</verse>
				<verse number="15">සමිඳාණෝ පිළිතුරු දෙමින් මෙසේ වදාළ සේක: “මවකට හැකි ද, කුසේ දැරූ බිළිඳා අමතක කරන්න? හැකි ද ඈට ඇගේ ම කිරි දරුවාට පෙම් නොකරන්න? මවක ඇගේ දරුවා අමතක කළත්, මම නම්, කිසිදා නුඹ අමතක නොකරමි.</verse>
				<verse number="16">එම්බා ජෙරුසලම, නුඹේ නම මාගේ අත්වල අල්ලෙහි කොටා ගෙන ඇත. නුඹේ පවුරු මා ඉදිරියෙහි නිතර ම ඇත.</verse>
				<verse number="17">නැවත නුඹ ගොඩනඟන අය කැඩූ අයට වඩා ඉක්මනින් ඉදි කරති. නුඹව විනාශ කළ අය පලා යති.</verse>
				<verse number="18">නෙත් විදහා වට පිට බලන්න. මොවුහු සියල්ලෝ ම එකතු ව නුඹ ළඟට එති. මම ජීවමාන දෙවිඳාණන්ගේ නාමයෙන් දිවුරා කියමි: ‘මනාලියක ඇගේ ආභරණ පළඳින්නාක් මෙන් නුඹේ සෙනඟ නුඹට අලංකාරයක් වන්නෝ ය.’</verse>
				<verse number="19">විනාශ කරන ලද නුඹේ දේශය නටබුන් වී පාළු වී ඇතත්, දැන් එහි පදිංචියට පැමිණෙන අයට එහි ඉඩ මදි වන්නේ ය. නුඹ විනාශ කර දැමූ අය නුඹෙන් ඉවත් කරනු ලබන්නෝ ය.</verse>
				<verse number="20">පිටුවහල් ව සිටි කාලයේ දී උපන් අය ‘මේ දේශය අපට ජීවත් වීමට මදි ය. අපට වාසය කිරීමට තව ඉඩකඩ වුවමනා ය’යි නුඹට යම් දවසක දී කියනු ඇත.</verse>
				<verse number="21">එවිට නුඹ නුඹට ම මෙසේ කියා ගනු ඇත: ‘මොවුන් මා හට ඉපදෙව්වේ කවරෙක් ද? මම දරුවන් නැති ව වඳ ව, රටෙන් පිටිවහල් වී ඔබමොබ ගියෙමි. මොවුන් ඇති කළේ කවරෙක් ද? මම තනි ව සිටියෙමි. මොවුන් ආවේ කොතැනින් ද?”</verse>
				<verse number="22">මහෝත්තම දෙවි සමිඳාණෝ සිය සෙනඟට මෙසේ වදාරන සේක: “මම මාගේ හස්තය ජාතීන් මත ඔසවා සලකුණකින් සෙනඟට සංඥා කරන්නෙමි. ඔව්හු නුඹේ පුත්‍රයන් වඩාගෙන එන්නෝ ය. නුඹේ දූවරු ද ඔවුන්ගේ කරපිට ගෙනෙනු ලබන්නෝ ය.</verse>
				<verse number="23">රජවරු නුඹ ඇතිදැඩි කරන පියවරුන් මෙන් වෙති. බිසෝවරු නුඹේ කිරි මවුවරුන් මෙන් වෙති. ඔව්හු මුණින්තලා වී නුඹට වැඳ නුඹේ පාදවල ධූලි ලෙව කන්නෝ ය. එවිට මා සමිඳාණන් බව නුඹලා දැනගන්නහු ය. මා කෙරෙහි විශ්වාස කරන අයගේ බලාපොරොත්තු කඩ නොවන්නේ ය.”</verse>
				<verse number="24">බලවන්තයෙකුගෙන් කොල්ලය ගන්න නොහොත් කෲරතර රජෙකුගෙන් හිරකරුවන් මුදාගන්න කිසිවෙකුට හැකි ද?</verse>
				<verse number="25">සමිඳාණෝ මෙසේ පිළිතුරු දෙන සේක: “සැබැවින් ම බලවන්තයාගේ අතින් වහල්ලු මුදාගනු ලබන්නෝ ය. කෲරතර රජුගෙන් හිරකරුවෝ මුදාගනු ලබන්නෝ ය. නුඹට එදිරිවාදිකම් කරන අයට විරුද්ධ ව නුඹේ දරුවන් මුදාගන්නෙමි.</verse>
				<verse number="26">නුඹට පීඩා කරන්නන්ට ඔවුන්ගේ ම මාංසය කන්න සලස්වන්නෙමි. මත්පැන් බී මත් වන සේ, ඔව්හු තමන්ගේ ම ලේ බී, මත් වන්නෝ ය. එවිට මා සමිඳාණන් වන බවත්, නුඹලා මුදා නිදහස් කරන තැනැන් වහන්සේ බවත්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳාණන් බලවත් බවත් මුළු මිනිස් වර්ගයා දැනගනු ඇත.”</verse>
			</chapter>
			<chapter number="50">
				<verse number="1">සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම නුඹලාගේ මව අත්හැරියෙම් නම්, ඒ දික්කසාදයේ සහතිකය කොහේ ද? එසේ නැත්නම්, ණය හිමියෙකුට ණය ගෙවීමක් වශයෙන් මම නුඹලා පාවා දිනිම් ද? නැත. නුඹලා පාවා දෙනු ලැබුවේ නුඹලාගේ ම අපරාධ නිසා ය. නුඹලා අත්හරිනු ලැබුවේ නුඹලාගේ ම වරද නිසා ය.</verse>
				<verse number="2">ගළවන්න මා ආ විට, කිසිවෙකු නොසිටියේත්, මා අඬගැසූ විට කිසිවෙකු පිළිතුරු නුදුන්නේත් මන් ද? ඔවුන් ගළවා ගැනීමට මට ශක්තිය නැද් ද? ඔවුන් මිදීමට මා තුළ බලය නැද් ද? මෙය සිතට ගන්න. මාගේ ආඥාවකින් මුහුද වියළවා යවන්නත්, ගංගාව කාන්තාරයක් බවට හරවන්නත් මට හැකි ය. වතුර නැති නිසා එහි සිටින මසුන් පිපාසයෙන් මැරී ගඳ ගසනු ඇත.</verse>
				<verse number="3">මම අහස අඳුරු කරන්නෙමි. එය ගෝණි රෙදි හැඳගත් ශෝක වන්නෙකු මෙන් කරන්නෙමි.”</verse>
				<verse number="4">විඩාවට පත්වූවන් ශක්තිමත් කරන පිණිස ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන සිසුවෙකු මෙන් එතුමන්ට සවන් දෙන පිණිස මහෝත්තම දෙවි සමිඳාණෝ හැම උදයක ම මා තුළ උනන්දුවක් ඇති කරවන සේක.</verse>
				<verse number="5">දෙවි සමිඳුන් මාගේ කන් පහදා ඇත. මා එතුමන්ට විරුද්ධ ව කැරලි ගැසුවේ වත්, එතුමන්ට පිටුපා ගියේ වත් නැත.</verse>
				<verse number="6">
					මට පහර දෙන්නන්ට මම මාගේ පිට පෑවෙමි.
					මාගේ රැවුල් ගස් උදුරන්නන්ට මම මුහුණ දුන්නෙමි. මාගේ මුහුණ නින්දාවෙනුත්, කෙළ ගැසීමෙනුත් හරවා නොගතිමි.
				</verse>
				<verse number="7">මහෝත්තම දෙවි සමිඳාණන් මට උපකාර කරන බැවින් මම වියවුල් නොවන්නෙමි. මම නිර්භීත ලෙස මුහුණ පාන්නෙමි. මා ලජ්ජාවට නොපැමිණෙන බව දනිමි.</verse>
				<verse number="8">
					මන්ද, දෙවිඳාණෝ මා ළඟ ය;
					එතුමාණෝ මා නිදොස් බව පෙන්වන සේක. මට විරුද්ධ ව චෝදනා කරන්නේ කවරෙක් ද? අපි දෙදෙනා ම විනිශ්චයයට යමු; ඔහු මට විරුද්ධ ව චෝදනාව ඉදිරිපත් කරා වා!
				</verse>
				<verse number="9">මහෝත්තම දෙවි සමිඳාණෝ මට උපකාර කරන සේක. ‘මා වැරදිකරු ය’යි ඔප්පු කළ හැක්කේ කවරෙකුට ද? කාවුන් කාදමන පරණ වස්ත්‍රයක් මෙන් මාගේ විරුද්ධකාරයෝ සියලු දෙන ම අතුරුදහන් වන්නෝ ය.</verse>
				<verse number="10">ඔබ අතරෙන් සමිඳුන් කෙරෙහි ගරුබිය ඇති අය එතුමන්ගේ සේවකයා කියන දේට සවන් දෙන්න. තමන්ට ආලෝකයක් නැති ව, අන්ධකාරයෙහි ඇවිදින අය සමිඳුන් කෙරෙහි විශ්වාසය තබන්න: එතුමන් කෙරෙහි බලාපොරොත්තුව තබන්න!</verse>
				<verse number="11">ගින්නක් දල්වන, ගිනි අඟුරු මොළවන සියල්ලෙනි, අනුන් විනාශ කරන්න උපා යොදන ඔබ ඔබේ ම උපායවලින් විනාශ වන්නහු ය. සමිඳුන් අතින් ම එය සැලසෙනු ඇත. ඔබ භයංකර විපතකට පත්වන්නහු ය.</verse>
			</chapter>
			<chapter number="51">
				<verse number="1">සමිඳාණෝ මෙසේ වදාරන සේක: “දැහැමි ලෙස ජීවත්වෙමින් සමිඳුන් සොයා යන්නෙනි, නුඹලා නෙළාගනු ලැබුවේ කුමන පර්වතයකින් ද කියාත්, නුඹලා හාරා ගනු ලැබුවේ කුමන ගල්වළකින් ද කියාත් සිතා බලන්න.</verse>
				<verse number="2">නුඹලාගේ ආදි පිය වූ ආබ්‍රහම් ද නුඹලා ප්‍රසූත කළ සාරා ද ගැන සිතා බලන්න. මා ආබ්‍රහම් කැඳෙවු විට ඔහුට දරු සම්පතක් නො වී ය. එහෙත්, මම ඔහුට ආශීර්වාද කර දරු පරපුරක් දිනිමි.</verse>
				<verse number="3">සමිඳාණෝ සියොන්ටත්, එහි නටබුන්වලටත් අනුකම්පා කරන සේක. ඇගේ වනාන්තරය, ඒදන් උයන මෙන් ද ඇගේ කාන්තාරය සමිඳුන්ගේ උයන මෙන් ද කරන සේක. ප්‍රීතිය ද සන්තෝෂය ද ස්තුති දීම ද ගීතිකා හඬ ද එහි වන්නේ ය.</verse>
				<verse number="4">මාගේ සෙනඟෙනි, මට සවන් දෙන්න. මාගේ ජනයෙනි, මා කෙරෙහි කන් යොමු කරන්න. ව්‍යවස්ථාවක් මා වෙතින් නිකුත් වන්නේ ය. මාගේ සාධාරණකම ජාතීන්ට එළියක් වන්නේ ය.</verse>
				<verse number="5">ඔවුන් ගැළවීමට මම ඉක්මනින් පැමිණෙන්නෙමි. මාගේ ජයග්‍රහණය ආසන්න ය. මම ම ජාතීන් පාලනය කරන්නෙමි. ඈත රටවල් මා එන තෙක් බලා සිටියි. මා ඔවුන්ට ගැළවීම ගෙන දීමේ බලාපොරොත්තුවෙන් ඔව්හු සිටිති.</verse>
				<verse number="6">නුඹලාගේ ඇස් ඔසවා ඉහළ අහස දෙස බලන්න. පහළ පොළොව දෙස බලන්න. අහස දුම මෙන් පහ වී යන්නේ ය; පොළොව පරණ වස්ත්‍රයක් මෙන් දිරාපත් වන්නේ ය. එහි සිටින සියලු දෙනා ම පණුවන් මෙන් විනාශ වන්නෝ ය. එහෙත්, මා ගෙන දෙන ගැළවීම සදහට ම පවතින්නේ ය. මාගේ යුක්තියට කෙළවරක් නොවන්නේ ය.</verse>
				<verse number="7">දැහැමිකම දන්න, සිය සිත්වල මාගේ අණපණත් නිදන් කර ඇති ජනයෙනි, මට සවන් දෙන්න. මිනිසුන් නුඹලාට නින්දා කරන විට බිය නොවන්න. ඔවුන්ගේ අපහාසවලට නොකැළඹෙන්න.</verse>
				<verse number="8">කාවන් විසින් කාදමන ලද වස්ත්‍රයක් මෙන් ද පණුවන් විසින් කාදමන ලද ලොම් රොදක් මෙන් ද ඔව්හු විනාශ වන්නෝ ය. එහෙත්, මාගේ ගැළවීම සදහටත්, මාගේ ජයග්‍රහණය සියලු පරම්පරාවලටත් පවතින්නේ ය.”</verse>
				<verse number="9">සමිඳුනි, පිබිදෙන්න; අපට පිහිට වන්න. අතීත පරපුරේ සමයයන්හි මෙන් අවදි වන්න. පුරාණයේ දී ඔබ කළාක් මෙන් ඔබේ බලවත් හස්තයෙන් අප ගළවාගන්න. රාහාබ් නම් දිය රකුසා ද මකරා ද කෑලිවලට කැපුවේ ඔබ නොවන සේක් ද?</verse>
				<verse number="10">ඉතා ගැඹුරු මහ මුහුද හින්දවා, මිදීම ලත් සෙනඟට එතෙර වීමට ගැඹුරු මුහුදේ මාර්ගයක් සැදුවේත් ඔබ නොවන සේක් ද?</verse>
				<verse number="11">සමිඳුන් විසින් මුදන ලද්දෝ ගී කියමින් සියොනට පැමිණෙන්නෝ ය. ඔවුන්ගේ ප්‍රීතිය සදහට ම පවතින්නේ ය. ඔව්හු ප්‍රීති ප්‍රමෝදයෙන් පිනා යන්නෝ ය. දුක ද සුසුම්ලෑම ද ඔවුන්ගෙන් පහ ව යන්නේ ය.</verse>
				<verse number="12">සමිඳාණෝ මෙසේ වදාරන සේක. “නුඹලා සනසන්නේ මම ය. මැරී යන තණ මෙන් පහ ව යන මිහි පිට මිනිසාට නුඹ බිය විය යුත්තේ කුමකට ද?</verse>
				<verse number="13">අහස විහිදුවා පොළොවේ අත්තිවාරම දැමූ නුඹලාගේ මැවුම්කාරයා අමතක කළහු ද? නුඹලා විනාශ කිරීමට අරමුණු කරගත් පීඩා කරන්නන්ගේ කෝපය නිසා නුඹලා දවස මුළුල්ලේ ම වෙවුළන්නේ කුමට ද? පීඩා කරන්නන්ගේ කෝපයෙන් නුඹලාට කිසි හානියක් නොවන්නේ ය.</verse>
				<verse number="14">රටින් පිටුවහල් වී සිටින්නෝ ඉක්මනට මුදනු ලබන්නෝ ය. ඔවුන් පාතාල ලෝකයට වැටෙන්නේ වත්, ඔවුන්ට ආහාර හිඟවන්නේ වත් නැත.</verse>
				<verse number="15">මම නුඹලාගේ දෙවි සමිඳාණෝ ය. මුහුද කළඹා එහි රළ පතර ඝෝෂා කරන්න සලස්වන්නේ මම ය. මාගේ නම සව් බලැති සමිඳාණෝ ය.</verse>
				<verse number="16">අහස විහිදුවා, පොළොවේ අත්තිවාරම් දැමුවේ මම ය. මම සියොන් අමතා, ‘නුඹලා මාගේ සෙනඟ ය; නුඹලාට මාගේ ඉගැන්වීම දිනිමි; මාගේ හස්තයෙන් නුඹලා ආරක්ෂා කරන්නෙමි’යි කීමි.”</verse>
				<verse number="17">එම්බා ජෙරුසලම පිබිදෙන්න. පිබිදෙන්න. නැඟිට සිටින්න. සමිඳුන් සිය උදහසින් නුඹලාට බොන්න දුන් කෝපය නමැති කුසලානේ අඩියට ම උරා බීමෙන් නුඹ වැනෙන්න වූයෙහි ය.</verse>
				<verse number="18">නුඹේ සෙනඟ අතරෙන්, නුඹ ඇතිදැඩි කළ නුඹේ ම පුත්‍රයන් අතරෙන් නුඹේ අත අල්ලාගෙන නුඹට මඟපෙන්වන්නට කිසිවෙක් නැත.</verse>
				<verse number="19">නුඹ පිට ආපදාවක් දෙකක් පැමිණ ඇත. එනම්, පාළුව හා විනාශයත්, සාගතය හා යුද්ධයත් ය. නුඹ සනසන්නේ කවරෙක් ද?</verse>
				<verse number="20">නුඹේ පුත්‍රයෝ සමිඳුන්ගේ කෝපයෙන්, නුඹේ දෙවිඳුන්ගේ තරවටුවෙන් මිරිකී, ක්ලාන්ත වී දැලක අසු වූ ගෝනෙකු මෙන් සියලු වීථි සන්ධිවල වැටී සිටිති.</verse>
				<verse number="21">එබැවින් මත්පැනින් මත් වූ අය මෙන් වැනෙන දුක් විඳින ජෙරුසලම් ජනයෙනි, මෙය අසන්න.</verse>
				<verse number="22">නුඹලාගේ දෙවි සමිඳාණෝ නුඹලා ආරක්ෂා කරන සේක. එතුමාණෝ මෙසේ වදාරන සේක: “මාගේ උදහසින් නුඹලාට බොන්න දුන් මාගේ කුසලාන නුඹලා අතින් ඉවත් කරන්නෙමි. මින්පසු නුඹලා වැනෙන පමණට මාගේ කෝපය නමැති කුසලානෙන් නොබොන්නහු ය.</verse>
				<verse number="23">ඒ කුසලාන නුඹලාට පීඩා කළ අයට එනම්, ‘අප විසින් නුඹලා පාගාගෙන යනු පිණිස බිම වැටී සිටින්නැ’යි කියමින් නුඹලාගේ පිටවල් පාරක් මෙන් සලකා ඒවා උඩින් ගිය අයට එය දෙන්නෙමි.”</verse>
			</chapter>
			<chapter number="52">
				<verse number="1">එම්බා සියොන්, පිබිදෙන්න, පිබිදෙන්න, ශක්තිමත් වන්න, ශුද්ධ නුවර වන ජෙරුසලම, ඔබේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න. මින්පසු අචර්මඡේදිතයෙක් වත්, අපවිත්‍ර වූවෙක් වත්, මේ නගරයට ඇතුළු නොවන්නේ ය.</verse>
				<verse number="2">ජෙරුසලම, ඔබ ධූලි ගසාදමා නැඟිට සිටින්න, වහලියක වූ සියොන් පුරඟන, ඔබේ ගෙල වටා ඇති විලංගු ගලවාදමන්න.</verse>
				<verse number="3">මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “නුඹලා වහල්කමට විකුණනු ලැබුවේ මුදල් වන්දියකින් නොවේ; එසේ ම නුඹලා මුදනු ලබන්නේත් මුදල් වන්දියකින් නොවේ.</verse>
				<verse number="4">මුල දී නුඹලා මිසරයේ විදේශී ව සිටින්න ගියහු ය. පසු ව අසිරියාව කිසි හේතුවක් නැති ව නුඹලාට පීඩා කෙළේ ය.</verse>
				<verse number="5">දැන් මෙහි බබිලෝනියෙහි මට කුමක් දක්නට ලැබේ ද? කිසි හේතුවක් නැති ව මාගේ සෙනඟ මෙහි වහල් ව සිටිති. ඔවුන්ගේ පාලකයෝ ජය හඬ නඟති; දවස දෙවේලේ මාගේ නාමයට අපහාස කරති.</verse>
				<verse number="6">එබැවින්, මාගේ සෙනඟ මාගේ නාමය දැනගනු ඇත. ඒ දවසේ දී කතා කරන්නේ මා බවත්, මා දෙවියන් වහන්සේ බවත් ඔවුන් දැනගනු ඇත.”</verse>
				<verse number="7">
					සුබ ආරංචි ගෙන එන, සාමය ප්‍රකාශ කරන, යහපත ගැන සුබසුන් පළ කරන ගැළවීම ගැන ලොවට දන්වන, “නුඹේ දෙවි තුමාණෝ රජකම් කරන සේකැ”යි සියොනට කියන, කඳු මුඳුන්හි පෙනෙන දූතයාගේ පාද කොපමණ අලංකාර වන්නේ ද?
				</verse>
				<verse number="8">නගරය මුර කරන්නන්, හඬ නඟා එක් ව ගී කියනු ඇත. සියොනට සමිඳාණන් වඩින බව ඔවුන් සියැසින් දකිනු ඇත.</verse>
				<verse number="9">ජෙරුසලමේ නටබුන්, එක් ව ගී ගයන්න; ඝෝෂා කරමින් හඬ නඟන්න. සමිඳාණෝ සිය සෙනඟ සැනසූ සේක.</verse>
				<verse number="10">සමිඳාණෝ ජාතීන් ඉදිරියේ සියොනට ශුද්ධ බලය පෑ සේක. අපේ දෙවිඳුන්ගේ ගැළවීම ලොවේ සීමාන්තයෝ දකිති.</verse>
				<verse number="11">
					යන්න, බබිලෝනියෙන් පිට වී යන්න, අපිරිසිදු දේකට අත නොපාන්න.
					නොනැවතී පිට වී යන්න, සමිඳුන්ගේ භාණ්ඩ උසුලාගෙන යන නුඹලා පිරිසිදු වන්න.
				</verse>
				<verse number="12">හදිසියෙන් පිට වී යන්න නුඹලාට සිදු නොවේ; බේරී පලා යන්න නුඹලාට සිදු නොවේ; සමිඳාණෝ නුඹලාට පෙරටු ව යන සේක. සමිඳාණෝ නුඹලා පසුපස්සෙන් එන සේක.</verse>
				<verse number="13">බලන්න, මාගේ සේවකයාණන්ට ජය අත් වේ. එතුමාණෝ, උසස් වී, උතුම් වී, අත්‍යුත්කෘෂ්ට වෙති.</verse>
				<verse number="14">පෙනුමෙන් එතුමාණෝ බොහෝ සේ අවලක්ෂණ ය. මිනිසෙකුට සමානකමක් නැත. මිනිස් රූපය නැති වී යන පමණට විරූප වීමෙන් එය සියල්ලන්ට ම පුදුමයක් වී ඇත.</verse>
				<verse number="15">
					දැන් නම්, ජාතීහු එතුමාණන් දැක මවිතයට පත් වෙති.
					රජවරු විස්මයෙන් විස්මයට පත් ව නිහඬ ව සිටිති. ඉහත දී ඔවුන්ට නොදැන්වූ දෙයක් දැන් ඔව්හු දනිති. කිසි කලක නොඇසූ දෙයක් දැන් ඔව්හු තේරුම්ගනිති.
				</verse>
			</chapter>
			<chapter number="53">
				<verse number="1">අප සැළ කළ දේ විශ්වාස කෙළේ කවරෙක් ද? සමිඳුන්ගේ බලය එළිදරව් වී ඇත්තේ කවරෙකුට ද?</verse>
				<verse number="2">මාගේ සේවකයාණෝ වැඩෙන පැළෑටියක් සේ ද වියළි බිමෙන් මතු වන අංකුරයක් සේ ද සමිඳුන් අබියස වැඩුණෝ ය. එතුමන්ට රූපවත්කමක් හෝ පැහැපත්කමක් හෝ නැත; මන පිනවන ශෝභමානකමක් ද නැත;</verse>
				<verse number="3">මිනිසුන් විසින් පිළිකුල් කොට එපා කරනු ලැබූ හ; දුක හා වද වේදනා දැරූ මිනිස් කෙනෙක් වූ හ. එතුමන් දුටු විට මිනිස්සු ඉවත බලාගත්හ; එතුමාණෝ නෙරපනු ලැබූ හ. අපි එතුමන් ගැන සැලකිල්ලක් නොදැක්වූවෙමු.</verse>
				<verse number="4">
					එබැවින් එතුමාණන් ඉසුළුවේ අපේ දුක ය;
					දරාගත්තේ අපේ පීඩා ය. මේවා දඬුවම් යයි අපට සිතුණේ ය. දෙවි තුමන් දුන් පහර යයි අපට හැඟුණේ ය.
				</verse>
				<verse number="5">
					එහෙත්, එතුමන් තුවාළ ලැබුවේ අපේ අපරාධ නිසා ය;
					පොඩි කරනු ලැබුවේ අපේ පව් නිසා ය. එතුමන් ලත් දඬුවමින් අපට සාමදානය ලැබී ඇත; එතුමන් ලැබූ පහරවලින් අපට සුවය ලැබී ඇත.
				</verse>
				<verse number="6">
					අපි සියල්ලෝ ම බැටළුවන් මෙන් මුළා වී තම තමා සිතූ මඟට හැරී ගියෙමු.
					සමිඳාණෝ අප සියල්ලන්ගේ පව් එතුමන් පිට තැබූ සේක.
				</verse>
				<verse number="7">
					සේවකයාණන්ට පීඩා කළ විට එතුමෝ මුඛය නෑර සිටිය හ;
					නිහතමානී ලෙස එය දැරූ හ. මරන්න ගෙන යන බැටළු පොව්වකු සේ ද බැටළු දෙනක ලොම් කපන්නා ඉදිරියේ නිහඬ ව සිටින සේ ද එතුමෝ මුඛය නෑර සිටිය හ.
				</verse>
				<verse number="8">බලහත්කාරකමින් ද යුක්ති විරෝධි ලෙස ද එතුමෝ ගෙනයනු ලැබූ හ; මනු ලොවින් සිඳදමනු ලැබූ හ; සෙනඟගේ පව් උදෙසා මරනු ලැබූ හ.</verse>
				<verse number="9">
					මේ කරුණු ගැන, එතුමන් උදෙසා පෙනී සිටින්නේ කවරෙක් ද?
					එතුමන් කිසි වරදක් නොකළ නමුත්, කිසි බොරුවක් නොකී නමුත්, ඔවුන් එතුමන් මිහිදන් කෙළේ අදමිටුවන් සමඟ එක මිනී වළේ ය. ධනවතුන් සමඟ එක සොහොන් බිමේ ය.
				</verse>
				<verse number="10">එහෙත්, එතුමන් පෙළනු ලැබුවේත්, දුකට පත් කරනු ලැබුවේත් සමිඳාණන්ගේ කැමැත්ත ලෙස ය. මෙසේ එතුමන්ගේ මරණය පව් කමා කරන පූජාවක් වේ. එබැවින් එතුමෝ සිය පරපුර දැක, දීර්ඝායු ලැබ ජීවත් වන්නා හ. එතුමන් මඟින් සමිඳුන්ගේ කැමැත්ත මැනවින් සඵල වේ.</verse>
				<verse number="11">එතුමන් සිය දුක් වේදනාවේ ප්‍රතිඵල දැක, තෘප්තියට පැමිණෙනු ඇත. බොහෝ දෙනාගේ පව් තමන් පිට ගැනීමෙන්, එතුමන් දුක් වේදනාවෙන් ලත් දැනගැන්මෙන් දමිටු කමට ඔවුන් පත් කරනු ලබනු ඇත.</verse>
				<verse number="12">
					එබැවින් මම එතුමන්ට උදාරතර සම්පත් දෙන්නෙමි.
					එතුමෝ එය බලවතුන් සමඟ බෙදාගන්නා හ. මෙසේ වන්නේ, එතුමන්, වරදකරුවන් සමඟ ගණන් ගනු ලැබ, සිය දිවි පුදමින්, බොහෝ දෙනාගේ පව් උසුලාගනිමින් පව්කරුවන් සඳහා මැදහත් යැදුම් කරන බැවිනි.
				</verse>
			</chapter>
			<chapter number="54">
				<verse number="1">“දරුවන් නොලැබූ වඳ ස්ත්‍රියක වැනි ජෙරුසලම, ගී ගයන්න. ප්‍රසව වේදනාව නොවින්ද නුඹ ගී හඬ නඟා මොරගසන්න. මන්ද, විවාහක ස්ත්‍රියගේ දරුවන්ට වඩා, අත්හරිනු ලැබූ ගැහැණියක වැනි නුඹට දරු සම්පත් බොහෝ වෙති”යි සමිඳාණෝ වදාරන සේක.</verse>
				<verse number="2">“නුඹේ කූඩාරම පිහිටා ඇති ස්ථානය විශාල කරන්න. එහි සීමා පළල් කරන්න; පසු නොබසින්න; ලණු දික් කරගෙන ඇබ සවි කරන්න.</verse>
				<verse number="3">මන්ද, නුඹේ සීමා වමටත් දකුණටත් පැතිරී යනු ඇත. නුඹේ දරු පරපුර ජාතීන්ගේ දේශ හිමි කරගෙන පාළු වී ඇති නගර වැසියන්ගෙන් පුරවනු ඇත.</verse>
				<verse number="4">බිය නොවන්න; නුඹ නැවත ලජ්ජාවට පැමිණෙන්නේ නැත. නොකැළඹෙන්න, නුඹ නින්දාවට පත් වන්නේ නැත. නුඹේ යොවුන් වියෙහි ලජ්ජාව නුඹ අමතක කරන්නෙහි ය. නුඹේ වැන්දඹුකමේ නින්දාව තවත් සිහි නොකරන්නෙහි ය.</verse>
				<verse number="5">නුඹේ මැවුම්කාරයාණෝ නුඹේ ස්වාමි පුරුෂයා මෙන් වන සේක. එතුමන්ගේ නාමය සව් බලැති සමිඳාණෝ ය. ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැන් වහන්සේ නුඹේ මිදුම්කාරයාණෝ ය. ‘මුළු පොළොවේ දෙවිඳාණෝ ය’යි එතුමන්ට කියනු ලබන්නේ ය.</verse>
				<verse number="6">ඉශ්රායෙල්, නුඹ සිය පුරුෂයා විසින් අත්හරිනු ලැබූ අතිශයෙන් ශෝකයට පත් වී සිටින තරුණ භාර්යාවක වැන්න. එහෙත්, සමිඳාණන් එතුමන් වෙත නුඹ කැඳවා ඇත.” නුඹේ දෙවිඳාණෝ නුඹට මෙසේ වදාරන සේක:</verse>
				<verse number="7">“මම ස්වල්ප කලකට නුඹ අත්හළෙමි. එහෙත් මහා දයානුකම්පාවෙන් නැවත නුඹ කැඳවාගන්නෙමි.</verse>
				<verse number="8">ඉමහත් උදහසින් මොහොතකට මාගේ මුහුණ නුඹ කෙරෙන් සඟවාගතිමි. එහෙත්, නොමියෙන සුලු ප්‍රේමයකින් මම නුඹට අනුකම්පා කරන්නෙමි.” නුඹේ මිදුම්කාරයාණන් වන සමිඳාණෝ මෙසේ වදාරන සේක:</verse>
				<verse number="9">
					“නෝවාගේ කාලයේ ඇති වූ ජලගැල්ම මට සිහි වේ.
					ඒ කාලයේ ඇති වූවාක් මෙන් නුඹ කෙරෙහි උදහස් නොවන බවටත්, නුඹට තරවටු නොකරන බවටත් මම දිවුරුම් දෙන්නෙමි.
				</verse>
				<verse number="10">කඳු පහ ව ගියත්, හෙල් සෙලවුණත්, නුඹට ඇති මාගේ තිර පෙම පහ වෙන්නේ වත්, මාගේ ගිවිසුම සෙලවෙන්නේ වත් නැත. මෙසේ වදාරන්නේ නුඹට අනුකම්පා කරන සමිඳාණන් වන මම ය.”</verse>
				<verse number="11">සමිඳාණෝ මෙසේ වදාරන සේක: “අහෝ අසරණ කුණාටුවකින් මෙන් කැළඹී සිටින සැනසිල්ලක් නැති තැනැත්තියක වැනි ජෙරුසලම! මම නුඹේ ගඩොල් මරකතවලින් සාදා, නුඹේ අත්තිවාරම් නිල් මාණික්‍යවලින් ඉදි කරන්නෙමි.</verse>
				<verse number="12">නුඹේ කොත් රතුකැටවලින් ද නුඹේ දොරටු පද්මරාගවලින් ද නුඹ වටේ ඇති තාප්පය මැණික්වලින් ද මම තනන්නෙමි.</verse>
				<verse number="13">
					නුඹේ දරුවන්ට ස්වාමීන් වන මම උගන්වන්නෙමි.
					ඔවුන්ගේ සෞභාග්‍යය අධික වන්නේ ය.
				</verse>
				<verse number="14">නුඹ ධර්මිෂ්ඨකමෙහි පිහිටුවනු ලබන්නෙහි ය. නුඹ පීඩාවෙන් දුරු ව බිය නැති ව සිටින්නෙහි ය. භීතියක් නුඹට ළං වන්නේ නැත.</verse>
				<verse number="15">කිසිදාක නුඹට පහර දීමට කිසිවෙකුට මම අනුමැතිය නොදෙන්නෙමි. නුඹට විරුද්ධ ව සටන් කරන අය වැටෙන්නෝ ය.</verse>
				<verse number="16">ගිනි අඟුරු පිඹ නියම වැඩට ආයුධයක් තළාගන්නා වූ කම්මල්කරුවා මැව්වේ මම ය. ඒ ආයුධවලින් වනසාදැමීම සඳහා යුද්ධ භටයා මැව්වේත් මම ය.</verse>
				<verse number="17">නුඹට විරුද්ධ ව සාදන කිසි ම ආයුධයකින් වැඩක් නොවේ. නුඹට විරුද්ධ ව නඟන සියලු චෝදනා නුඹ නිෂ්ප්‍රභා කරන්නෙහි ය. මාගේ මෙහෙකරුවන්ගේ උරුමය මෙය වන්නේ ය. මම ඔවුන්ට ජය අත්කර දෙමි.”</verse>
			</chapter>
			<chapter number="55">
				<verse number="1">“පිපාසා ඇති සියල්ලෙනි, ඇල දොළ වෙත පැමිණෙන්න; මුදල් නැති තැනැත්තෙනි, එන්න, අරගන්න, වළඳන්න. එන්න, මිදියුස හා කිරි ගන්න, නොමිලේ ම ලබාගන්න.</verse>
				<verse number="2">කෑමක් නොවන දේට මුදල් ගෙවන්නේ කුමට ද? තෘප්තිය නොදෙන දේට වෙහෙස වන්නේ මන් ද? මා හට සවන් දී, මා කී දේ කර, හොඳ ම ආහාර වළඳා පෝෂණය වී ප්‍රීති වන්න.”</verse>
				<verse number="3">“මට සවන් දී, මා වෙත එන්න; අවුත් ජීවනය ලබාගන්න; දාවිත්ට මා ප්‍රේම කළාක් මෙන් ම නුඹටත් ප්‍රේම කරන ලෙසට සදහට ම පවතින ගිවිසුමක් නුඹ සමඟ කරන්නෙමි.</verse>
				<verse number="4">දාවිත්, ජාතීන්ගේ ප්‍රධානියෙකු ද ආඥාපතියෙකු ද කෙළෙමි. මාගේ සෙනඟට ඔහු මාගේ සාක්ෂිකාරයෙකු කරමි.</verse>
				<verse number="5">නුඹේ සමිඳුන් හා දෙවිඳුන් වන, ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ වන මා නුඹ ගෞරවයට පත් කළ බැවින්, නුඹ නොහැඳින සිටි ජාතීන් කැඳවා, නුඹ අණ කළ පමණින් නුඹ වෙත විගසින් ඇදී එනු ඇත.”</verse>
				<verse number="6">හමු විය හැකි බැවින් සමිඳුන් සොයා යන්න; ළඟ ම සිටිය දී එතුමන් අයැදින්න.</verse>
				<verse number="7">දුෂ්ටයා සිය මාර්ගයෙන් හැරී, අදමිටු මිනිසා තම සිතුවිලි දුරලා, සමිඳුන් වෙත ඇදී ඒවා! එතුමන් ඔහුට අනුකම්පා කරනු ඇත. දෙවිඳුන් වෙත ඔහු හැරී ඒවා; එතුමන් ඔහුට බොහෝ සේ කමා කරනු ඇත.</verse>
				<verse number="8">සමිඳාණන් වන මම මෙසේ පවසමි. “මාගේ සිතුවිලි නුඹේ සිතුවිලි මෙන් නොවේ; මාගේ මාර්ග නුඹේ මාර්ග මෙන් නොවේ.</verse>
				<verse number="9">අහස පොළොවට වඩා බොහෝ ඉහළින් ඇති සේ නුඹේ මාර්ගවලට වඩා මාගේ මාර්ග උසස් ය. නුඹේ සිතුවිලිවලට වඩා මාගේ සිතුවිලි බොහෝ සේ උසස් ය.”</verse>
				<verse number="10">
					“අහසින් වැටෙන හිම හා වසින වැස්ස නැවත හැරී නොගොස් පොළොව සරුසාර කර, පැළ නංවා, කරල් හටගන්වා වපුරන්නාට ධාන්‍ය ද මිනිසාට ආහාර ද ගෙන දෙයි.
				</verse>
				<verse number="11">එලෙස මා මුවින් නික්මෙන වචන මා වෙත ම හිස් ව නොපැමිණ මාගේ අදහස් සඵල කර නියමයන් සිකුරට ම ඉටු කරයි.”</verse>
				<verse number="12">“නුඹලා ප්‍රීතියෙන් බබිලෝනියෙන් නික්ම යන්නහු ය. සාමදානයෙන් නගරයෙන් ගෙනයනු ලබන්නහු ය. කඳු හෙල් නුඹලා ඉදිරියේ බියෙන් ඉපිළෙයි. වනයේ සියලු ගස් කොළන් අත් පොළසන් දෙයි.</verse>
				<verse number="13">කටු ගස් වෙනුවට දේවදාර ගස් ද ගොකටු වෙනුවට මරඳ ගස් ද හටගනියි. මෙය සමිඳුන්ගේ නමට සදහට පවතින සලකුණක් වන්නේ ය. එතුමන්ට මැකී නොයන සිහිවටනයක් වන්නේ ය.”</verse>
			</chapter>
			<chapter number="56">
				<verse number="1">සමිඳාණෝ සිය සෙනඟට මෙසේ වදාරන සේක. “යුක්තිය ඉටු කර හරි දේ කරන්න. මම නුඹලා නොපමා ව මුදන්නෙමි. මාගේ විමුක්තිය එළිදරව් වනු ඇත.</verse>
				<verse number="2">මේ දේ කරන, එහි නිරත ව සිටින, සබත් දවස පවත්වන, එය නොකෙලසන, නපුර කිරීමෙන් වැළකී සිටින මිනිසා, මැරෙන සුලු මිනිසා, භාග්‍යවන්ත ය.”</verse>
				<verse number="3">සමිඳුන් සමඟ බැඳුණ විදේශිකයා, ‘සමිඳාණෝ සිය සෙනඟගෙන් මා වෙන් කරන සේකැ’යි නොකියා වා! නපුංසකයෙක්, ‘මම වියළි ගසක් වැන්නැ’යි නොකියා වා!</verse>
				<verse number="4">සමිඳාණෝ මෙසේ පවසන සේක: “මාගේ සබත් දවස රක්ෂා කර, මා ප්‍රිය කරන දේ තෝරාගෙන, මාගේ ගිවිසුමෙහි ස්ථිර ව පිහිටා සිටින නපුංසකයෝ</verse>
				<verse number="5">මාගේ මාලිගාවේ ප්‍රාකාරය ඇතුළේ දූදරුවන්ට වඩා උසස් නමක් ලබන්නෝ ය. එය කිසි කලක නොමැකෙන, සදහට ම පවතින නමක් වන්නේ ය.</verse>
				<verse number="6">සමිඳුන්ට සේවය කර, එතුමන්ට ප්‍රේම කර, එතුමන්ගේ මෙහෙකරුවන් වන පිණිස එතුමන් සරණ ගිය, සබත් දවස පවත්වා එය නොකෙලසන මාගේ ගිවිසුම ස්ථිර ව පවත්වන විදේශිකයන් ද මාගේ ශුද්ධ කන්දට පමුණුවා, මාගේ යාච්ඤා ගෘහයෙහි ප්‍රීති කරවන්නෙමි.</verse>
				<verse number="7">
					ඔවුන්ගේ දවන යාග පූජා හා පුද පූජා මාගේ පූජාසනය පිට පිළිගනු ලබන්නේ ය.
					මන්ද, ‘මාගේ දේව මාලිගාව සියලු ජාතීන් හට යාච්ඤා ගෘහය’ය යි කියනු ලබන්නේ ය.
				</verse>
				<verse number="8">පිට කරනු ලැබූ ඉශ්රායෙල්වරුන් එකතු කරන මහෝත්තම දෙවි සමිඳාණෝ, ‘ඔවුන් වෙත එකතු වී සිටින්නන් හැර මම තවත් අය ඔවුන් වෙත එකතු කරන්නෙමි’යි වදාරන සේක.”</verse>
				<verse number="9">වනයේ සියලු සත්ත්වයෙනි, කැළෑවේ සියලු සත්ත්වයෙනි, එන්න; ඔබේ ගොදුරු කාදමන්න.</verse>
				<verse number="10">සෙනඟගේ මුරකාරයන් සියල්ලෝ ම අන්ධ ය. කිසිවක් දන්නේ නැති ඔව්හු බුරන්න බැරි ගොළු බල්ලන් වැනි ය. බල්ලන් මෙන් ලැග හිඳිමින් හීන දකිති. නිදාගන්න ඉතා කැමැති ය.</verse>
				<verse number="11">ඔව්හු කිසිසේත් තෘප්තියට නොපැමිණෙන කෑදර බල්ලන් වැනි ය. ඔව්හු තේරුම්පැහැදුම් කිසිත් නැති එඬේරු වෙති. ඔව්හු එකිනෙකා තම තමාගේ වාසිය තකා හිතුමනාපයට ක්‍රියා කරති.</verse>
				<verse number="12">ඔව්හු කතා කොට, “එන්න, අපි මිදියුස ලබාගෙන, සුරාපානය උගුරට ම එන තෙක් බී තෘප්තියට පැමිණෙමු. හෙට දවස අදටත් වඩා හොඳ දවසක් වනු ඇතැ”යි කියති.</verse>
			</chapter>
			<chapter number="57">
				<verse number="1">ධර්මිෂ්ඨයා මිය යන්නේ ය, එහෙත් කිසිවෙක් එය සිතට නොගන්නේ ය. බැතිමත්හු අභාවයට යති. එහෙත් කිසිවෙක් එය තේරුම් නොගනිති. මන්ද, විපත පැමිණෙන්න පෙර ඔව්හු ගෙනයනු ලබති.</verse>
				<verse number="2">අවංකකමින් ජීවත් වන අය මරණයේ දී ශාන්තියට පිවිස විවේක සුවයෙන් පසු වෙති.</verse>
				<verse number="3">එහෙත්, මායාකාරියගේ පුත්‍රයන් වන, පාරදාරිකයන්ගේත්, වේශ්‍යාවන්ගේත් වංශය වන නුඹලා, මෙහි පැමිණෙන්න.</verse>
				<verse number="4">නුඹලා කට අයා, දිව දික්කර, කවටකම් කරන්නේ කාට විරුද්ධ ව ද? නුඹලා කැරලිකාරකමේ දරුවන් ද වංචනික වංශයක් ද නොවන්නහු ද?</verse>
				<verse number="5">ආලෝන ගස් අතරේත්, සියලුම අතු පතර ඇති ගස් යටත් නුඹලා කම් සැපෙහි යෙදෙන්නහු ය. මිටියාවත්හි හා පර්වත විවරයන්හි නුඹලා දරුවන් පූජා කරන්නහු ය.</verse>
				<verse number="6">නමස්කාර කරන පිණිස නුඹලා මිටියාවතේ ගල් ගෙන ඒවාට පාන පූජා වගුරුවා, ආහාර පූජා කරන්නහු ය. නුඹලා මේ දේවල් කරද්දී මම සතුටු වන්නෙම් ද?</verse>
				<verse number="7">නුඹලා පූජා ඔප්පු කරනු පිණිස උස් කඳුවලට ගොස් එහි කම් සැපෙහි යෙදෙන පිණිස යහන් පිළියෙළ කරන්නහු ය.</verse>
				<verse number="8">දොරටත්, උළුවස්සටත් පිටුපසින් නුඹලාගේ දේව පිළිම නුඹලා තබාගන්නහු ය. නුඹලා මා අත් හැර, නුඹලාගේ ඇඳුම් ගලවා, කුලියට ලබා ගත් පෙම්වත් අය සමඟ විශාල යහන්වලට වී කම් සැපෙහි යෙදෙන්නහු ය.</verse>
				<verse number="9">නුඹලා සුවඳ ද්‍රව්‍ය ගාගෙන මොලෙක් දෙවියාට නමස්කාර කරන පිණිස යන්නහු ය. නමස්කාර කිරීමට දෙවිවරුන් සොයාගන්න පිණිස නුඹලා පණිවුඩකාරයන් දස දෙස, පාතාල ලෝකයට පවා යවන්නහු ය.</verse>
				<verse number="10">අන් දෙවිවරුන් සොයාගැනීමටත් නුඹලා වෙහෙස වන්නහු ය. එහෙත්, නුඹලාගේ සෙවීම අත්නාරින්නහු ය. නුඹලා නව පණක් ලබාගත් බැවින් නුඹලා දුර්වල නොවන්නහු යයි සිතන්නහු ය.</verse>
				<verse number="11">සමිඳාණෝ මෙසේ වදාරන සේක: “නුඹලා බොරු කීවේත්, මා සහමුලින් ම අමතක කළේත් කවරෙකුට බියෙන් ද? නුඹලා මට බිය නොවන්නේ මා බොහෝ කලක් නිශ්ශබ්ද ව සිටි නිසා ද?</verse>
				<verse number="12">නුඹලාගේ ඔය දැහැමිකමත්, නුඹලාගේ ක්‍රියාත් මම හෙළි කරන්නෙමි. නුඹලාගේ දේව රූපවලින් නුඹලාට පිහිටක් නොවේ.</verse>
				<verse number="13">නුඹලා මොරගසන විට නුඹලා රැස්කරගත් ඒ දේව රූප නුඹලාට පිහිට වේ වා! ඔව්හු සුළඟට ගසාගෙන යනු ලබති. හුස්මකින් පහ ව යන්නෝ ය. එහෙත්, මා කෙරෙහි විශ්වාස කරන අය දේශය අත් කරගෙන, මාගේ ශුද්ධ කන්ද උරුම කරගන්නෝ ය.”</verse>
				<verse number="14">“මහා මඟක් සාදන්න; මාගේ සෙනඟගේ බාධා ඉවත් කොට, මාර්ගය පහදා, සමතලා කර සූදානම් කරන්නැ”යි කියන හඬක් ඇසෙන්නේ ය.</verse>
				<verse number="15">උසස්, උදාර, සදාකාලික ශුද්ධ නාමය දරන තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක: “යටහත් පහත් අය පණ ගන්වන පිණිසත්, තැළුණු බිඳුණු අයගේ සිත් ධෛර්යවත් කරන පිණිසත් මම උසස්, ශුද්ධස්ථානයේ වාසය කරන අතර, යටහත් පහත්, තැළුණු බිඳුණු සිත් ඇති අය සමඟ ද වාසය කරමි.</verse>
				<verse number="16">මා කෙරෙන් ජීවනදායක ආත්මය නික්මෙන බැවින්, මා ජීවන හුස්ම මවා ඇති බැවින් මා තවදුරටත් මාගේ සෙනඟ සමඟ විවාද කරන්නේ වත්, සෑම කල් ම උදහස් වී සිටින්නේ වත් නැත.</verse>
				<verse number="17">ඔවුන්ගේ තණ්හාව හා වරද නිසා මම උදහස් වීමි. ඒ නිසා මාගේ කෝපයෙන් මම ඔවුන්ට දඬුවම් කොට, ඔවුන් අත්හළෙමි. එහෙත්, ඔව්හු මුරණ්ඩු ව, හිතුමතේ ජීවත් වූ හ.</verse>
				<verse number="18">ඔවුන් ක්‍රියා කර ඇති අන්දම මම දිටිමි. එහෙත්, මම ඔවුන්ට සුවය දෙමි. මම ඔවුන්ට මඟපෙන්වා, පිහිට වී, ශෝක වන්නන් සිනා රැල්ලෙන් සනසන්නෙමි.</verse>
				<verse number="19">
					ළඟ හෝ දුර හෝ වේ වා, සියලු දෙනාට, ‘ශාන්ති වේ වා! ශාන්ති වේ වා!
					මම ඔවුන්ට සුවය දෙමි’යි සමිඳාණන් වන මම කියමි.
				</verse>
				<verse number="20">එහෙත්, දුෂ්ටයෝ වනාහි කැළඹී ඇති කුණු කසළ සෝදාගෙන, ගොඩට නොනැවතී ගලා එන, රළ පතර ඇති මුහුද හා සමාන වෙති.</verse>
				<verse number="21">
					‘දුෂ්ටයන්ට ශාන්තියක් නැතැ’යි මාගේ දෙවිඳාණෝ වදාරන සේක.”
				</verse>
			</chapter>
			<chapter number="58">
				<verse number="1">සමිඳාණෝ මෙසේ වදාරන සේක: “නොනැවතී මහ හඬින් මොරගසා, හොරණෑවක් මෙන් නුඹේ හඬ නඟා, මාගේ ඉශ්රායෙල් සෙනඟට ද ජාකොබ්ගේ වංශයට ද ඔවුන්ගේ වැරදි හා පව් දන්වන්න.</verse>
				<verse number="2">ඔව්හු දැහැමි ක්‍රියා කරන, දෙවිඳුන්ගේ නියෝග අත්නෑර සිටින ජාතියක් යයි සිතාගෙන, දවස් පතා මා සොයති; මාගේ මාර්ගයන් දැනගන්න ප්‍රසන්න වෙති; සාධාරණ විනිශ්චයයන් මාගෙන් ඉල්ලති; දෙවිඳුන් වෙත ළඟා වීමට ප්‍රසන්න වෙති.”</verse>
				<verse number="3">“සමිඳුන් සලකන්නේ නැත්නම්, අප උපවාස කරන්නේ කුමට ද? එතුමන් සිතට ගන්නේ නැත්නම්, අප වද විඳින්නේ කුමට දැ”යි සෙනඟ අසති. සමිඳාණෝ ඔවුන්ට මෙසේ වදාරන සේක: “නුඹලා උපවාසයේ යෙදී සිටින අතර නුඹලාගේ ම සැප පහසුව සොයමින් නුඹලාගේ සේවකයන්ට හිරිහැර කරන්නහු ය.</verse>
				<verse number="4">නුඹලා උපවාසයේ යෙදී සිටින අතර, විවාදයටත්, තරඟයටත්, දුෂ්ට පහර දීමටත් පෙළඹෙන්නහු ය. මෙලෙස මෙදින උපවාස කිරීමෙන් නුඹලාගේ යැදුම් සගයට නොනැඟේ.</verse>
				<verse number="5">නුඹලා උපවාස කරන දවසේ දී නුඹලාට ම වද වේදනා කරගෙන පන් ගසක් මෙන් හිස නමාගෙන, ගෝණි රෙදි සහ අළු අතුරා ඒ පිට හිඳගන්නහු ය. උපවාසයෙන් නුඹලා අදහස් කරන්නේ එය ද? එවැනි උපවාස දවසක් සමිඳුන්ට ප්‍රසන්න යයි නුඹලා සිතන්නහු ද?</verse>
				<verse number="6">මට ප්‍රියමනාප උපවාසය මෙය වේ, දුෂ්ටකමේ විලංගු මුදා හැර, අයුක්තියේ බැඳුම් ලිහා හැර, පීඩිතයන් නිදහස් කර හැර, සියලු වියගස් බිඳදැමීම ය.</verse>
				<verse number="7">
					සාගින්නෙන් පෙළෙන අය සමඟ ආහාර බෙදාගැනීම ද ගේදොර නැති අසරණයන් ඔබේ ගෙදරට කැඳවීම ද ඇඳුම් නැති අය දුටු විට ඇඳුම් සපයා දීම ද සැබෑ මිතුරන් මඟ නොහැර යුතුකම් ඉටු කිරීම ද නියම උපවාසය වේ.
				</verse>
				<verse number="8">එවිට අරුණෝදය මෙන් මාගේ එළිය උදා වී, ඉක්මනින් නුඹලාට සුවසෙත ගෙන දේවි. ඔබේ දැහැමි සිරිය ඔබ පෙරටුවෙන් ද සමිඳුන්ගේ තෙද සිරිය ඔබ පසුපස ද ඔබේ සුරැකියාව සඳහා ගමන් ගන්නේ ය.</verse>
				<verse number="9">එකල නුඹලා යාච්ඤා කරන විට මම පිළිතුරු දෙන්නෙමි. මට නුඹලා හඬ නඟන විට ‘මම මෙහි ය’යි පිළිතුරු දෙන්නෙමි. නුඹලා අනුන්ට කරන බලහත්කාරකම් ද අනුන් හෙළා දැකීම ද නපුරු ලෙස කතා කිරීම ද නුඹලා වෙතින් පහ කරන්නහු නම්,</verse>
				<verse number="10">සාගිනි ඇත්තාට අනුකම්පා කර, අසරණයන් තෘප්තියට පමුණුවන්නහු නම්, නුඹේ අඳුර එළිය වන්නේ ය; ඝනාන්ධකාරය මද්දහන මෙන් එළිය වන්නේ ය.</verse>
				<verse number="11">මම නිතර ම නුඹලාට මඟපෙන්වා, යහපත් දෙයින් තෘප්තියට පමුණුවා සනීප ශක්තිය නුඹලාට ගෙන දෙන්නෙමි. නුඹලා ජලයෙන් සාරවත් උයනක් මෙන් ද දිය නොසිඳී යන උල්පතක් මෙන් ද වන්නහු ය.</verse>
				<verse number="12">නුඹලාගේ බොහෝ කලක සිට පැවත එන නටබුන් ව තිබුණු තැන් ගොඩනඟනු ලබන්නේ ය. පැරණි අත්තිවාරම් පිට ගොඩනැඟිලි නැවත ඉදි කරනු ලබන්නේ ය. කැඩුම්බිඳුම් සෑදූ, වාසය පිණිස නටබුන් නැවත අලුත්වැඩියා කළ අය වශයෙන් නුඹලා හඳුන්වනු ලබන්නහු ය.”</verse>
				<verse number="13">සමිඳාණෝ මෙසේ වදාරන සේක: “නුඹලා සබත් දවස ශුද්ධ ලෙස පවත්වා, ඒ දවසේ දී නුඹගේ කැමැත්ත නොකර, සමිඳුන්ගේ සබත ප්‍රිය වන ගෞරවණීය දවසක් යයි කියන්නහු නම්, ඒ දවසේ දී ගමන් බිමන් නොගොස්, ගනුදෙනු නොකර, අල්ලාප සල්ලාප නොදොඩා ඒ දවසට ගෞරව කරන්නහු නම්,</verse>
				<verse number="14">මට සේවය කිරීමෙන් ඇති වන ප්‍රීතිය නුඹලා භුක්ති විඳින්නහු ය. ලොවෙහි උසස් ම ගෞරවය නුඹලාට අත් කර දෙන්නෙමි. නුඹලාගේ පිය වූ ජාකොබ්ට උරුමයක් වශයෙන් දුන් දේශය නුඹලා භුක්ති විඳින්නහු ය. මෙසේ වදාරන්නේ සමිඳුන් වන මම ය.”</verse>
			</chapter>
			<chapter number="59">
				<verse number="1">ගළවන්න බැරි වන ලෙස සමිඳුන්ගේ බලය දුබල වී නැත, නෑසෙන ලෙස එතුමන්ගේ කන බිහිරි වී නැත.</verse>
				<verse number="2">නුඹලා දෙවිඳුන්ගෙන් වෙන් ව සිටින්නේ නුඹලාගේ ම අපරාධ නිසා ය. නුඹලා අයැදින විට එතුමන්ට නෑසෙන්නේ නුඹලාගේ පාප නිසා ය.</verse>
				<verse number="3">නුඹලාගේ අත්වල ලේ තැවරී ඇත. නුඹලාගේ ඇඟිලි අපරාධවලින් කිළුටු වී ඇත; තොල්වලින් නුඹලා බොරු කියා ඇත; දිවෙන් නුඹලා නපුරු දේ පවසා ඇත.</verse>
				<verse number="4">යුක්ති සහගත නඩු කියන, අවංක සිතින් උසාවියට යන කෙනෙක් නැත. ඔව්හු නිරර්ථක පැමිණිලි විශ්වාස කොට බොරු කියන්නෝ ය. නපුර පිළිසිඳගෙන අයුක්තිය බිහි කරන්නෝ ය. පොළොං බිජු රකින සේ,</verse>
				<verse number="5">මකුළු දැල් වියන සේ උපායයන් යොදන්නෝ ය. පොළොං බිජු අනුභව කරන්නෝ නසින්නෝ ය. බිජුවක් බිඳින විට එයින් තවත් පොළඟෙක් නික්ම එයි.</verse>
				<verse number="6">එහෙත්, ඒ උපායයන් ඇඳුම් සඳහා මකුළු දැල් වියාගැනීමක් මෙන් නිෂ්ඵල ය. නුඹලාගේ වැඩ අපරාධ වැඩ ය. නුඹලාගේ අත්වලින් නිතර බලහත්කාරකම් කරන්නහු ය.</verse>
				<verse number="7">
					නපුරුකම් කිරීමට නුඹලා යුහුසුළු වන්නහු ය.
					නිදොස් අයගේ ලේ වැගිරීමට ඉක්මන් වන්නහු ය. නුඹලාගේ සිතුවිලි පාපතර සිතුවිලි ය. නුඹලා යන යන තැන නාස්තිය හා විනාශය ඇති වේ.
				</verse>
				<verse number="8">සාම මාර්ගය නුඹලා නොදන්නහු ය. නුඹලාගේ මාර්ගයේ යුක්තිය නැත. නුඹලා ඇද මාවත් සාදාගෙන ඇත. එහි ගමන් ගත් කිසිවෙක් සාමය නොදනිති.</verse>
				<verse number="9">සෙනඟ මෙසේ කියති: “යුක්තියත් දැහැමිකමත් අපෙන් දුරු ව තිබෙන්නේ මන්දැ යි අපි දනිමු. අප එළිය සොයන නමුත්, ඇත්තේ අන්ධකාරය ය; දීප්තිය සොයන නමුත්, අප යන්නේ කළුවරෙහි ය.</verse>
				<verse number="10">අන්ධයන් මෙන් අපි බිත්ති අත පත ගාමින් මඟ සොයමු. ඉර මුදුන් වේලාවේ අපි අඳුරේ මෙන් පැකිළී, ජීවතුන් මැද මළවුන් මෙන් සිටිමු.</verse>
				<verse number="11">අපි සියල්ලෝ ම වලසුන් මෙන් ගොරවමු; කොබෙයියන් මෙන් කෙඳිරි ගාමු. අප යුක්තිය සෙව්වත් එය දක්නට නැත; ගැළවීම ගැන බලා සිටියත් එය අපෙන් ඈත් ව තිබේ.</verse>
				<verse number="12">සමිඳුනි, ඔබට විරුද්ධ ව අපේ අපරාධ බොහෝ ය; අපේ අපරාධ අපට විරුද්ධ ව සාක්ෂි දෙයි. ඒවා අප සමඟ ය, අපේ පව් අපි දනිමු.</verse>
				<verse number="13">අපි ඔබට විරුද්ධ ව කැරලි ගසා, ඔබ ප්‍රතික්ෂේප කර අපේ දෙවිඳුන්ගේ මාර්ගයෙන් හැරී ගියෙමු. අපි අනුන්ට පීඩා කර ඔබට විරුද්ධ ව කැරලි ගැසීමු. අපේ සිතුවිලි වංක ය; අපේ වචන බොරු ය.</verse>
				<verse number="14">යුක්තිය බැහැර කොට ඇත; දැහැමිකම දුරින් දුරු වී ඇත. සත්‍යය ප්‍රසිද්ධ තැන්වල වැටී බිඳී ඇත. ඇත්තට තැනක් නැත.</verse>
				<verse number="15">සැබෑකම දක්නට නැත; නපුර හෙළා දකින තැනැත්තා සොර මුළට ගොදුරක් වේ. සමිඳාණෝ මේ දේ දැක, යුක්තිය නුවූ බැවින් අප්‍රසන්න වූ සේක.”</verse>
				<verse number="16">පීඩිතයන්ට උපකාර කිරීමට කිසිවෙකු නැති බව දැක එතුමාණෝ පුදුම වූ සේක. එබැවින් එතුමාණෝ ඔවුන් ගැළවීමටත්, ඔවුන්ට ජය අත්පත් කර දීමටත් සිය බලය මෙහෙයවන සේක.</verse>
				<verse number="17">
					එතුමාණෝ, යුක්තිය සන්නාහයක් මෙන් ද ජයග්‍රහණය යුද්ධ තොප්පිය මෙන් ද පළඳින සේක.
					පළිගැනීම නමැති වස්ත්‍රයෙන් ද උදහස නමැති සළුවෙන් ද සැරසෙන සේක.
				</verse>
				<verse number="18">එතුමාණෝ ඔවුන්ගේ ක්‍රියා අනුව දඬුවම් කරන සේක. විරෝධකරුවන්ට උදහස ද සතුරන්ට විපාක ද පමුණුවන සේක. මුහුදුබඩ වසන්නන්ටත් එසේ ම කරන සේක.</verse>
				<verse number="19">එවිට නැගෙනහිර සිට බස්නාහිර දක්වා සියලු දෙන එතුමන්ගේ නමටත් බිය වන්නෝ ය. එතුමන්ගේ තේජාලංකාරය දකින්නෝ ය; එතුමාණෝ තද සුළඟක් මෙන් නැඟී වේගයෙන් ගලා යන දිය පාරක් මෙන් වඩින සේක.</verse>
				<verse number="20">
					සමිඳාණෝ සෙනඟට මෙසේ වදාරන සේක:
					“පාපයෙන් හැරෙන ජාකොබ්ගේ වංශයේ සියලු දෙනා ගළවන්නත්, ජෙරුසලමේ සිටින නුඹලා ආරක්ෂා කරන්නත් මම එන්නෙමි.
				</verse>
				<verse number="21">නුඹලා සමඟ මම ගිවිසුමක් කරන්නෙමි. එය මෙසේ ය. නුඹලා කෙරෙහි පවරා ඇති මාගේ ආත්මානුභාවය ද නුඹලාගේ මුවෙහි තබන ලද මාගේ වචන ද නුඹලාගේ මුඛයෙන් වත්, නුඹලාගේ දරුවන්ගේ මුඛයෙන් වත්, ඔවුන්ගේ දරුවන්ගේ මුඛයෙන් වත් මෙතැන් සිට සදාකාලයට ම පහ නොවන්නේ ය.”</verse>
			</chapter>
			<chapter number="60">
				<verse number="1">ජෙරුසලම, නැඟිටින්න, බැබළෙන්න. ඔබේ ආලෝකය දැන් උදා වී ඇත. සමිඳුන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි බැබළේ.</verse>
				<verse number="2">පොළොව අඳුරෙන් ද ජාතීන් ගන’ඳුරෙන් ද වසනු ලබන නමුත්, සමිඳාණෝ ඔබ මත බබළන සේක. එතුමන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි දිස් වන්නේ ය.</verse>
				<verse number="3">ජාතීන් ඔබේ ආලෝකය වෙතටත්, රජවරුන් උදා වන ඔබේ දීප්තිය දෙසටත් පැමිණෙනු ඇත.</verse>
				<verse number="4">ඔබේ ඇස් ඔසවා අවට බලන්න; ඔව්හු සියල්ලෝ රැස් ව ඔබ වෙත එති. ඔබේ පුත්‍රයන් දුර සිට පැමිණෙනු ඇත. ඔබේ දූවරු උකුලේ හොවාගෙන ගෙනෙනු ලබති.</verse>
				<verse number="5">මෙය දැක ඔබ ප්‍රීති වන්නහු ය. ඔබේ සිත ප්‍රීති ප්‍රමෝදයෙන් පිනා යන්නේ ය. මන්ද, මුහුදු මඟින් ගෙනෙන යසඉසුරු ඔබ වෙත ගලා එන්නේ ය. ජාතීන්ගේ වස්තුව ඔබ වෙත පැමිණෙන්නේ ය.</verse>
				<verse number="6">ඔටුවන් සමූහයකින් යුත් තවලම් මිදියන් හා ඒපා දේශවලින් නුඹ වෙත රොක් වෙයි. ඔවුන් ෂෙබා දේශයෙන් රන් ද සුවඳ ද්‍රව්‍ය ද රැගෙන අවුත්, සමිඳුන්ගේ ප්‍රශංසාව ප්‍රකාශ කරනු ඇත.</verse>
				<verse number="7">කේදාර් හා නෙබායොත්හි සියලු එළු බැටළු පට්ටි පූජා කරනු සඳහා නුඹ වෙත ගෙනෙනු ලබති; උන් සමිඳුන්ගේ පූජාසනය පිට ඔප්පු කරනු ලබති. සමිඳාණෝ සිය තේජාන්විත දේව මාලිගාව අලංකාරවත් කරන සේක.</verse>
				<verse number="8">වලාකුළු ගසාගෙන යන්නාක් මෙන් ද පරෙවියන් උන්ගේ කූඩුවලට ඉගිලෙන්නාක් මෙන් ද වේගයෙන් ගමන් කරන්නේ මොනවා ද?</verse>
				<verse number="9">මුහුදුබඩ වසන්නෝ මාගේ පැමිණීම බලා සිටිති. නැව් තර්ෂිෂ්හි සිට පැමිණෙනු ඇත. දුර සිට නුඹේ පුත්‍රයන් ද ඔවුන් සමඟ රන් රිදී ද ඒ නැව් ගෙනෙනු ඇත. නුඹේ දෙවි සමිඳුන්ට එනම්, ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේට ගරු කරන පිණිස ඒ නැව් පැමිණෙයි. මන්ද, එතුමාණන් නුඹ මහිමයට පත් කර තිබෙන බැවිනි.</verse>
				<verse number="10">සමිඳාණෝ ජෙරුසලමට මෙසේ වදාරන සේක: “විදේශීහු නුඹේ පවුරු ගොඩනඟන්නෝ ය. ඔවුන්ගේ රජවරු ද නුඹට සේවය කරන්නෝ ය.</verse>
				<verse number="11">
					ජාතීන්ගේ සම්පත් ඔවුන්ගේ රජවරුන් පෙරටු කොටගෙන නුඹ වෙත ගෙනෙන පිණිස නුඹේ දොරටු රෑ දාවල් දෙක්හි නොවසා, නිතර ම ඇර තබනු ලැබේ.
				</verse>
				<verse number="12">ඔබ වහන්සේට සේවය නොකරන ජාතීන් ද රාජ්‍යය ද වැනසෙන්නේ ය. එසේ ම ඒ ජාතීහු සහමුලින් ම විනාශ වන්නෝ ය.</verse>
				<verse number="13">මාගේ ශුද්ධස්ථානය අලංකාර කිරීමටත්, මා වැඩවසන ශුද්ධ මන්දිරය තේජවන්ත කිරීමටත්, ලෙබනොන්හි අනර්ඝ දේවදාර ගස් ද හල් ගස් ද නුඹ වෙත ගෙනෙනු ඇත.</verse>
				<verse number="14">
					නුඹට පීඩා කළ අයගේ පුත්‍රයන් දණින් වැටී නුඹ වෙත පැමිණෙනු ඇත.
					නුඹ හෙළා දැක්ක සියල්ලන් ද නුඹේ පාමුල වැඳ වැටෙනු ඇත. ඔවුන් නුඹට, ‘සමිඳුන්ගේ නගරය’ කියාත්, ‘සියොන් නම් ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේගේ නුවර ය’ කියාත් කියනු ඇත.
				</verse>
				<verse number="15">එපා කරන ලද, ද්වේෂයට භාජනය වූ, පාළු වූ, නුවරක් වූ නමුත්, මම නුඹ උතුම්, අලංකාර, සදහට ම ප්‍රීතිය ඇති ස්ථානයක් කරන්නෙමි.</verse>
				<verse number="16">මුව දෙනක ඇගේ කිරි දරුවාට කිරි පොවා රැක බලන්නාක් මෙන් ජාතීහු ද රජවරු ද නුඹ රැක බලාගනිති. ස්වාමීන් වන මම නුඹේ ගැළවුම්කාරයාණන් බවත්, ඉශ්රායෙල්වරුන්ගේ බලවන්තයාණන් නුඹේ මිදුම්කාරයාණන් බවත් නුඹ දැනගනු ඇත.</verse>
				<verse number="17">මම ලෝකඩ වෙනුවට රත්රන් ද යකඩ වෙනුවට රිදී ද ලී වෙනුවට ලෝකඩ ද ගල් වෙනුවට යකඩ ද ගෙනෙන්නෙමි. නුඹේ නායකයන් විසින් යුක්තියෙන් හා සාමයෙන් නුඹ පාලනය කරනු ලැබීමට මම සලස්වන්නෙමි.</verse>
				<verse number="18">නුඹේ දේශ සීමා තුළ බලහත්කාරකම ද නාස්තිය හා විනාශය ද ගැන තවත් අසන්න නොලැබෙන්නේ ය. නුඹේ පවුරුවලට ‘ගැළවීම’ කියා ද නුඹේ දොරටුවලට ‘ප්‍රශංසාව’ කියා ද නුඹ කියන්නෙහි ය.</verse>
				<verse number="19">
					මින්පසු, දවල් කාලේ හිරු තවත් ඔබේ එළිය නොවන්නේ ය;
					රෑ කාලේ සඳ, එළිය දෙන්න ඔබ කෙරේ නොබබළන්නේ ය; සමිඳාණෝ ඔබේ සදාතන ආලෝකය වන සේක. ඔබේ දෙවිඳාණෝ ඔබේ තේජාලංකාරය වන සේක.
				</verse>
				<verse number="20">ඔබේ හිරු තවත් බැස යන්නේ නැත; ඔබේ සඳ බැස යන්නේත් නැත. සමිඳාණෝ ඔබේ සදාතන එළිය වන සේක. ඔබේ වැලපීමේ දවස් කෙළවර වන්නේ ය.</verse>
				<verse number="21">ඔබේ සෙනඟ සියල්ලෝ ම දැහැමි ව, සදහට ම දේශය උරුම කරගන්නෝ ය; ඔව්හු මා විසින් පැළ කරන ලද මාගේ පැළෑටියක් හා සමාන ය; මාගේ මහිමය ප්‍රකාශ කරන පිණිස මා විසින් මවන ලද්දෝ වෙති.</verse>
				<verse number="22">කුඩා තැනැත්තා වංශයක් ද සුළු තැනැත්තා බලවත් ජාතියක් ද වන්නේ ය. නියම කාලය පැමිණි විට මෙය ඉක්මනින් සිදු වීමට මම සලස්වන්නෙමි. මම සමිඳු වෙමි.”</verse>
			</chapter>
			<chapter number="61">
				<verse number="1">මහෝත්තම දෙවි සමිඳුන්ගේ ආත්මානුභාවය මා කෙරෙහි පිහිටා ඇත. දිළිඳුන්ට සුබ අස්න දෙසීමට ද බිඳුණු සිත් ඇත්තන්ට සුව සෙත දීමට ද වහලුන්ට මිදීම දානය කරන්න ද සිරකරුවන්ට නිදහස දන්වන්න ද එතුමාණෝ මා ආලේප කළ සේක.</verse>
				<verse number="2">
					සමිඳුන්ගේ කරුණාවේ දවස, සතුරන්ට දඬුවම් දීමේ දවස පළ කරන පිණිස ද වැලපෙන සියල්ලන් සනසන පිණිස ද එතුමා මා ආලේප කළ සේක.
				</verse>
				<verse number="3">සියොන්හි දුක් වන සෑම දෙනාට අළු වෙනුවට මල්මාලා ද දුක් කඳුළු වෙනුවට ප්‍රීතිය නමැති තෛලය ද කලකිරී සිටින්නන්ට පැසසුම් නමැති වස්ත්‍රය ද ප්‍රදානය කරන පිණිස එතුමාණෝ මා ආලේප කළ සේක. ඔවුන්ගේ දැහැමිතාව සමිඳුන් රෝපණය කළ කිහිරි ගස් මෙන් ස්ථිර යයි කියනු ලැබේ. එයින් එතුමන්ට ම මහිමය හිමි වන්නේ ය.</verse>
				<verse number="4">ඔව්හු පැරණි නටබුන් ගොඩනඟති; නැති නාස්ති වූ තැන් අලුත්වැඩියා කරති; පරම්පරා ගණනාවක් තුළ නටබුන් ව පාළු ව තිබුණ නගර ප්‍රතිසංස්කරණය කරති.</verse>
				<verse number="5">විදේශිකයන් නුඹලාගේ බැටළු රැළවල් පෝෂණය කරනු ඇත. ඔව්හු නුඹලාගේ ගොවියෝ ද මිදි වතු වවන්නෝ ද වන්නෝ ය.</verse>
				<verse number="6">එහෙත් නුඹලා, ‘සමිඳුන්ගේ පූජකයෝ ය’යි කියනු ලබන්නහු ය. මිනිසුන් නුඹලාට, ‘අපේ දේව සේවකයෝ ය’යි කියනු ඇත. නුඹලා ජාතීන්ගේ සම්පත් භුක්ති විඳ, ඔවුන්ගේ වස්තු හිමි කරගනු ඇත.</verse>
				<verse number="7">නුඹලාගේ ලජ්ජාව වෙනුවට නුඹලා දෙගුණයක් ගෞරවය ලබන්නහු ය. නින්දාව වෙනුවට ලැබී ඇති කොටස ගැන ප්‍රීති වන්නහු ය. නුඹලාගේ දේශයෙහි නුඹලා දෙපංගුවක් භුක්ති විඳින්නහු ය. නුඹලාට සදා ප්‍රීතිය හිමි වන්නේ ය.</verse>
				<verse number="8">සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම යුක්තියට ප්‍රිය කරමි; අදමිටුකමටත්, කොල්ලකෑමටත් ද්වේෂ කරමි. එබැවින් මම අවංක ලෙස ඔවුන්ට විපාක දෙමි. සදාකාල ගිවිසුමක් ද ඔවුන් සමඟ කරගන්නෙමි.</verse>
				<verse number="9">ඔවුන්ගේ වංශය ජාතීන් අතරේ ද ඔවුන්ගේ පරම්පරාව ජනයන් අතර ද ප්‍රසිද්ධ වන්නේ ය. ඔවුන් හැඳිනගන්න සියල්ලෝ ඔවුන් සමිඳුන්ගේ ආසිරි ලත් සෙනඟ බව දැනගන්නෝ ය.”</verse>
				<verse number="10">
					මම සමිඳුන් කෙරෙහි බොහෝ ප්‍රීති වන්නෙමි;
					මාගේ දෙවිඳුන් කෙරෙහි මම ප්‍රීතියෙන් පිනා යන්නෙමි. මනාලයෙකු මල් මාලාවක් දමාගන්නාක් මෙන් ද මනාලිය ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන් ද එතුමාණෝ ගැළවීම නමැති වස්ත්‍රය මට පළඳවන සේක. ධර්මිෂ්ඨකම නමැති සළුව මට හඳවන සේක.
				</verse>
				<verse number="11">පොළොව අලුත් පැළෑටි උපදවන්නාක් මෙන් ද උයන එහි වපුළ දේ ලියලවන්නාක් මෙන් ද මහෝත්තම සමිඳුන් වන දෙවිඳාණෝ ධර්මිෂ්ඨකම හා ප්‍රශංසාව සියලු ජාතීන් ඉදිරියෙහි හට ගන්වන සේක.</verse>
			</chapter>
			<chapter number="62">
				<verse number="1">මම සියොන් උදෙසාත්, ජෙරුසලම උදෙසාත් නිහඬ ව නොසිටින්නෙමි. එහි දැහැමි බව දීපකයක් මෙන් ද එහි ගැළවීම ඇවිලෙන පහනක් මෙන් ද බැබළෙන තෙක් නිශ්ශබ්ද ව නොසිටින්නෙමි.</verse>
				<verse number="2">එම්බා ජෙරුසලම! ජාතීන් නුඹේ දැහැමි බවත්, සියලු රජවරුන් නුඹේ තේජසත් දකිනු ඇත. සමිඳුන්ගේ ම මුඛයෙන් පැවසෙන අලුත් නමක් නුඹට දෙනු ලබන්නේ ය.</verse>
				<verse number="3">නුඹ සමිඳුන්ගේ අතෙහි අලංකාර ඔටුන්නක් ද නුඹේ දෙවිඳුන්ගේ අතෙහි රාජ කිරීටයක් ද මෙන් වන්නෙහි ය.</verse>
				<verse number="4">නුඹ, ‘අත්හරින ලද්දා’ කියා ද නුඹේ දේශය ‘අත්හරින ලද භාර්යාවක’ කියා ද තවත් නොකියනු ලබන්නේ ය. ‘මාගේ ප්‍රීතිය’ යන අරුත ඇති ‘හෙප්ශිබා’ නුඹේ අලුත් නම වන්නේ ය. සමිඳාණන් නුඹ කෙරෙහි ප්‍රසන්න බැවින්, නුඹේ දේශය ‘ප්‍රීති කරන ගීය’ යන අරුත ඇති ‘බෙයුලා’ කියා කියනු ලබන්නේ ය. එතුමාණෝ නුඹේ දේශය සරණ කොට ගන්න සේක.</verse>
				<verse number="5">තරුණයෙකු කන්‍යාවක සරණ කොට ගන්න සේ නුඹේ පුත්‍රයෝ නුඹ සරණ කොට ගන්නෝ ය. මනාලයා මනාලිය කෙරෙහි ප්‍රීති වන්නාක් මෙන් නුඹේ දෙවිඳාණෝ නුඹ ගැන ප්‍රීති ප්‍රමෝද වන සේක.</verse>
				<verse number="6">එම්බා ජෙරුසලම! නුඹේ පවුරු පිට මම මුරකරුවන් සිටෙව්වෙමි. ඔව්හු රෑ වත්, දාවල් වත් කිසිසේත් නිශ්ශබ්ද නොවන්නෝ ය. සමිඳුන් අයැදින ඔබ විවේක නොගන්න.</verse>
				<verse number="7">එතුමන් ජෙරුසලම ප්‍රතිසංස්කරණය කොට එය මුළු ලොවෙහි වර්ණනාවට ලක් වන නගරයක් වන තුරු ඔව්හු එතුමන්ට විවේකයක් නොදෙති.</verse>
				<verse number="8">සමිඳාණෝ, සුරත තබා, බාහු බලය මෙහෙයවා, පොරොන්දුවක් දෙමින්, “සැබැවින් නුඹේ ධාන්‍ය නුඹේ සතුරන්ට කෑම පිණිස මම තවත් නොදෙන්නෙමි. නුඹ දහඩිය මහන්සියෙන් ලබාගත් මිදියුස විදේශීහු නොලබන්නෝ ය.</verse>
				<verse number="9">ධාන්‍ය එකතු කළ නුඹලා ඒවා වළඳා සමිඳුන්ට ප්‍රශංසා කරන්නහු ය. මිදියුස රැස් කළ නුඹලා මාගේ මාලිගාවේ මළුවල දී ඒවා පානය කරන්නහු ය”යි වදාළ සේක.</verse>
				<verse number="10">ජෙරුසලම් ජනයෙනි, පිට වී යන්න; දොරටුවලින් පිට වී ගොස් ආපසු එන සෙනඟට මාර්ගයක් පිළියෙළ කරන්න. මහා මාවත් ඉදිකරන්න; ගල් ඉවත් කරන්න. ජනයන්ට ධජ සංකේතය ඔසවන්න.</verse>
				<verse number="11">
					සමිඳුන් පොළොවේ සීමා දක්වා මෙසේ ප්‍රකාශ කර ඇත:
					“අන්න, නුඹේ ගැළවුම්කාරයාණෝ, එතුමාණෝ විපාක දෙන සේක. දිනාගත් දීමනාව ගෙනෙන සේකැ යි ජෙරුසලම් වැසියන්ට ප්‍රකාශ කරන්න.”
				</verse>
				<verse number="12">ඔව්හු ‘ශුද්ධ සෙනඟ’ කියාත්, ‘සමිඳුන්ගේ මුදාගත් ජනතාව’ කියාත් කියනු ලබන්නෝ ය. ‘දෙවිඳුන්ගේ තෝරාගත් නගරය’ කියාත් කියනු ලබන්නේ ය.</verse>
			</chapter>
			<chapter number="63">
				<verse number="1">ඒදොම්හි සිට රතු ලේ පැහැති ඇඳුම් ඇඳ, අලංකාර වස්ත්‍රවලින් සැරසී, මහා බලසම්පන්න ව ගමන් කරමින් බොශ්රාවෙන් එන මේ තැනැත්තා කවරෙක් ද? ඒ වනාහි, ජයග්‍රහණය ප්‍රකාශ කරන පිණිස ගැළවීම ගෙන දෙන්න බලවත් වන සමිඳාණෝ ය.</verse>
				<verse number="2">ඔබේ ඇඳුම් රතු ව තිබෙන්නේ කුමක් නිසා ද? ඔබේ වස්ත්‍ර මිදි පැසේ මිදි පාගන්නෙකුගේ ඇඳුම් මෙන් තිබෙන්නේ කුමක් නිසා ද?</verse>
				<verse number="3">
					සමිඳාණෝ මෙසේ පිළිතුරු දෙන සේක:
					“මම මිදි යන්ත්‍රයක මිදි පල මෙන් ජාතීන් තනියම පෑගුවෙමි. මාගේ උදව්වට සෙනඟගෙන් කිසිවෙක් නොසිටියේ ය. එමෙන් මාගේ උදහසින් ඔවුන් පෑගුවෙමි. මාගේ කෝපයෙන් ඔවුන් පොඩි කෙළෙමි. ඔවුන්ගේ රුධිරය මාගේ ඇඳුම්වල ඉසී තිබේ; එයින් මාගේ සියලු ඇඳුම් කැළැල් වී ඇත.
				</verse>
				<verse number="4">මාගේ සෙනඟ ගළවාගත යුතු කාලය පැමිණ ඇති බවත්, ඔවුන්ගේ සතුරන්ට දඬුවම් දිය යුතු දවස පැමිණ ඇති බවත් මම සිතට ගතිමි.</verse>
				<verse number="5">
					මා බැලූ කල මට උදව් වන්න කිසිවෙකු නොසිටි බව දුටු විට මම පුදුම වීමි.
					එහෙත්, මාගේ කෝපයෙන් මම වේගවත් ව මාගේ ම ශක්තියෙන් ජය අත්කර ගතිමි.
				</verse>
				<verse number="6">මාගේ උදහසින් ජාතීන් පාගාදමා, මාගේ කෝපයෙන් ඔවුන් මත් කරවා, ඔවුන්ගේ රුධිරය බිම වැගිරෙව්වෙමි.”</verse>
				<verse number="7">සමිඳුන්ගේ ස්ථිර ප්‍රේමය ගැන ද එතුමාණන් අපට කර ඇති සියල්ල ගැන ද එතුමාණන්ගේ දයානුකම්පාවත්, සීමා රහිත දයාවත් අනුව ඉශ්රායෙල් සෙනඟට දුන් සියලු ආසිරි ගැන ද සිහි කොට මම එතුමන් පසසමි.</verse>
				<verse number="8">‘ඔව්හු මාගේ සෙනඟ ය, ඔව්හු වංචා නොකරති’යි සමිඳාණෝ වදාළ සේක. ඒ නිසා එතුමාණෝ ඔවුන්ගේ ගැළවුම්කාරයාණෝ වූ සේක.</verse>
				<verse number="9">ඔවුන්ගේ සියලු දුක් කරදරවල දී දුක් වූ සේක. ඔවුන් ගැළෙව්වේ දේව දූතයෙකු නොව සමිඳාණෝ ම ය. එතුමාණෝ ස්වකීය ප්‍රේමයෙන් හා දයාවෙන් ඔවුන් මුදාගත් සේක. පසුගිය කාලයේ දී නොකඩවා ඔවුන් නැඟිටුවා, එතුමාණෝ ආරක්ෂා කළ සේක.</verse>
				<verse number="10">එහෙත්, ඔව්හු කැරලි ගසා, උන් වහන්සේගේ ශුද්ධාත්මයට දුක් දුන්නෝ ය. ඒ නිසා, එතුමාණෝ ඔවුන්ට සතුරු වී ඔවුන්ට විරුද්ධ ව සටන් කළ සේක.</verse>
				<verse number="11">එහෙත්, ඔව්හු සමිඳුන්ගේ සේවක මෝසෙස් සිටි අතීත කාලය සිහි කර මෙසේ ප්‍රශ්න කළහ. එතුමන්ගේ සෙනඟගේ නායකයන් මුහුදෙන් ගළවාගත් සමිඳාණෝ දැන් කොහේ ද? තමන්ගේ ශුද්ධ ආත්මානුභාවය ඔහුට දුන් තැනැන් වහන්සේ කොහේ ද?</verse>
				<verse number="12">
					සදාකාල කීර්තිය තමන්ට ලබාගන්න පිණිස ස්වකීය බලය මෙහෙයවා මෝසෙස් ලවා බලවත් දේ කළ,
				</verse>
				<verse number="13">කාන්තාරයේ යන අශ්වයන් මෙන් නොපැකිළෙන හැටියට ඔවුන් ගැඹුර මැදින් ගෙන ගිය තැනැන් වහන්සේ කොහේ ද?</verse>
				<verse number="14">ගව රැළ මිටියාවතට බසින්නාක් මෙන් සමිඳුන්ගේ ආත්මානුභාව ඔවුන් විශ්‍රාමයට ගෙන ගියේ ය. ඔබට තෙදවත් නමක් දිනාගන්න පිණිස සමිඳාණෝ ඔබේ සෙනඟ කැඳවාගෙන ගිය සේක.</verse>
				<verse number="15">සමිඳුනි, ස්වර්ගයේ සිට ඇස් යොමා, ඔබේ ශුද්ධ තේජාන්විත භවනයේ සිට බැලුව මැනව. අප කෙරේ සැලකිල්ල කොයි ද? ඔබේ බලය කොහි ද? ඔබේ ප්‍රේමයත්, අනුකම්පාවත් අපෙන් ඉවත් නොකළ මැනව.</verse>
				<verse number="16">ඔබ අපේ පියාණෝ ය; ආබ්‍රහම් අප නොදන්න නමුත්, ඉශ්රායෙල් අප නාඳුනන නමුත්, සමිඳාණෙනි, ඔබ අපේ පියාණෝ ය, අපේ මිදුම්කාරයාණෝ ය. එය අතීතයේ සිට ඔබේ නාමය වේ.</verse>
				<verse number="17">සමිඳුනි, ඔබේ මාර්ගවලින් අප මුළාව යන්නත්, ඔබ කෙරෙහි බිය නොවන සේ අපේ සිත් දැඩි වන්නත් හරින්නේ කුමක් නිසා ද? ඔබේ සේවකයන් නිසාත්, ඔබේ උරුමයට අයිති ගෝත්‍ර නිසාත් අප වෙත හැරී එනු මැනව.</verse>
				<verse number="18">ටික කලකට ඔබ වහන්සේගේ ශුද්ධ සෙනඟ ශුද්ධස්ථානය අත්කර ගත්හ. එහෙත් අපේ සතුරෝ එය පාගා දැමූහ.</verse>
				<verse number="19">අපි ඔබ විසින් කිසි කලක පාලනය නොකරන ලද්දවුන් මෙන් ද ඔබේ නාමය නොදරන ලද අය මෙන් ද වී සිටියෙමු.</verse>
			</chapter>
			<chapter number="64">
				<verse number="1">ඔබ අහස පළාගෙන නොබසින්නේ මන් ද? එවිට කඳු ඔබ තුමාණන් දැක බියෙන් කම්පා වනු ඇත.</verse>
				<verse number="2">ලැව් ගින්න කැළෑව දල්වන්නාක් මෙන් ද ගින්න වතුර උතුරවන්නාක් මෙන් ද ඔබ ඉදිරියෙහි ජාතීන් කම්පා වන පිණිස ඔබේ බලය සතුරන්ට පෙන්වනු මැනව.</verse>
				<verse number="3">අප බලාපොරොත්තු නොවූ භයානක දේ එක් කලක ඔබ කළ විට කඳු ඔබ ඉදිරියේ බියෙන් කම්පා වුණේ ය.</verse>
				<verse number="4">
					තමන් කෙරෙහි විශ්වාසය තබන අය උදෙසා මෙවැනි ක්‍රියා කරන දෙවි කෙනෙකු ගැන කනින් අසා තේරුම්ගත්, ඇසින් දුටු කෙනෙක් කිසි කලක නොසිටියේ ය.
				</verse>
				<verse number="5">දැහැමි ක්‍රියාවන් ප්‍රිය කරන, ඔබේ මාර්ගය මෙනෙහි කරන අයට ඔබ මඟපෙන්වන සේක; අප පව් කළ විට ඔබ අප සමඟ කෝප වී සිටි සේක; ඔබ කෝප වූ බැවින් අපි පුරාණයේ සිට පාපයෙහි ඇලී ගැලී සිටියෙමු. අපට ගැළවීම ලැබේ ද?</verse>
				<verse number="6">අපි සියල්ලෝ ම අපවිත්‍ර ව සිටියෙමු; අපේ සියලු දැහැමි ක්‍රියා කිළුටු වස්ත්‍ර වැනි ය. අපි සියල්ලෝ ම ගහක කොළයක් මෙන් පර වී යන්නෙමු. අප කරන අපරාධ නිසා සුළඟකින් මෙන් අප ගසාගෙන යයි.</verse>
				<verse number="7">ඔබට යාච්ඤා කරන කිසිවෙක් නැත. ඔබේ පිහිට සොයන කිසිවෙක් නැත; මන්ද, ඔබේ වත සඟවාගෙන අපේ පව් නිසා අපට අපරාධයන්ට ගොදුරු වීමට ඔබ ඉඩ හැර ඇත.</verse>
				<verse number="8">එහෙත් සමිඳුනි, ඔබ අපේ පියාණෝ ය. අපි මැටි ය; ඔබ අපේ කුඹල්කාරයාණෝ ය. ඔබ අප නිර්මාණය කළ සේක.</verse>
				<verse number="9">සමිඳුනි, අප කෙරේ අධික ලෙස උදහස් නුවුව මැනව. අපේ අපරාධ සදහට ම අමතක කළ මැනව. අනේ බැලුව මැනව! අපි සියල්ලෝ ම ඔබේ සෙනඟ ය.</verse>
				<verse number="10">ඔබේ ශුද්ධ නගරය පාළුකරයක් මෙන් වී ඇත. ජෙරුසලම පාළු නටබුන් නගරයක් වී ඇත.</verse>
				<verse number="11">අපේ මුතුන්මිත්තන් ඔබට පැසසුම් පැවැත්වූ ස්ථානය වන අපේ අලංකාර දේව මාලිගාව ගිනිබත් වී ඇත. සියලු සුන්දර තැන් නටබුන් වී ඇත.</verse>
				<verse number="12">සමිඳුනි, මේ ගැන ඔබ කම්පා වන්නේ නැද් ද? ඔබ නිශ්ශබ්ද ව සිට අප තද දුකට පමුණුවන සේක් ද?</verse>
			</chapter>
			<chapter number="65">
				<verse number="1">සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මාගේ සෙනඟට පිළිතුරු දෙන්න මා සූදානම් ව සිටි නමුත්, ඔව්හු මට යාච්ඤා නොකළහ. ඔවුන් හමුවීමට මා සූදානම් ව සිටි නමුත් ඔව්හු මා නොසෙවූ හ. ‘මම මෙහි ය, මම මෙහි ය’ කියා පිළිතුරු දෙන්න මා සූදානම් ව සිටි නමුත්, මේ ජාතිය මට යාච්ඤා නොකළහ.</verse>
				<verse number="2">
					කැරලිකාරයන් වන, හිතු මනාපේ අයහපත් මාර්ගයක ගමන් කරන සෙනඟක් දෙසට දවස මුළුල්ලේ ම මාගේ අත් විදහාගෙන සිටියෙමි.
				</verse>
				<verse number="3">ඒ සෙනඟ මා ඉදිරියෙහි දී නිතරම මා කෝප කරති; උයන්වල පූජා ඔප්පු කරති; ගඩොල් පිට සුවඳ දුම් ඔප්පු කරති. රහස් ස්ථානවල රාත්‍රිය ගත කරති;</verse>
				<verse number="4">ඔව්හු සොහොන්වල වාසය කරති; ඔව්හු ඌරු මස් කති; පිළිකුල් කෑම ඔවුන්ගේ භාජනවල තිබේ.</verse>
				<verse number="5">‘මා ශුද්ධ බැවින් මට ළං නොවී ඈතින් සිටින්නැ’යි ඔව්හු කියති. ඔවුන් කෙරෙහි මාගේ කෝපය නාසයට වැදෙන දුමක් ද නොනිවෙන ගින්නක් ද හා සමාන ය.</verse>
				<verse number="6">ඔවුන්ට දෙන දඬුවම් මා දැනට ම කෙටුම්පත් කර ඇත. ඔවුන් කර ඇති දේ ගැන නිහඬ ව නොසිටියෙමි.</verse>
				<verse number="7">ඔවුන්ගේත්, ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේත් අයුතුකම්වලට මම ප්‍රතිවිපාක දෙන්නෙමි. ඔවුන් කඳු උඩ සුවඳ දුම් පූජා ඔප්පු කර, මට අපහාස කර ඇත. ඒ නිසා මම නිසි ලෙස මැන ඔවුන්ට දඬුවම් දෙන්නෙමි.”</verse>
				<verse number="8">සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මිදි වල්ලෙහි යුස තිබෙන බව දැක, ‘එහි ආශීර්වාදයක් තිබෙන බැවින් එය විනාශ නොකරන්නැ’යි යමෙකු කියන සේ, මාගේ සෙනඟ මම විනාශ නොකරන්නෙමි: මට සේවය කරන්නන් මම ගළවන්නෙමි.</verse>
				<verse number="9">ජුදාගේ වංශයට අයත් ඉශ්රායෙල්වරුන් මම කැඳවන්නෙමි. ඔවුන්ගේ පරම්පරාව මාගේ දේශයත්, කඳුත් උරුම කරගන්නෝ ය. මට සේවය කරන්නන් එහි වාසය කරනු ඇත.</verse>
				<verse number="10">
					මා නමදින මාගේ සෙනඟ උදෙසා ෂාරොන් පෙදෙස, එළු බැටළු රැළවලට තණ බිමක් ද ආකොර් මිටියාවත, ගව රැළවලට ලැගුම් පළක් ද වන්නේ ය.
				</verse>
				<verse number="11">එහෙත්, සමිඳාණන් වන මා අත්හැර, මාගේ ශුද්ධ කන්ද අමතක කර, වාසනාවේ දේවතාවී වන ගාද්ට මේසයක් පිළියෙළ කර, දෛවයේ දේවතාවී වන මේනීට බඳුන් පුරවා, මිදියුස ඔප්පු කරන නුඹලා,</verse>
				<verse number="12">මම කඩුවෙන් මරණයට පත් වීමේ ඉරණමට නියම කරන්නෙමි. නුඹලා සියල්ලෝ ම ඝාතනයට අවනත වන්නහු ය. මන්ද, හඬගැසූ විට නුඹලා උත්තර නුදුන්නහු ය. මා කතා කළ විට නුඹලා සවන් නුදුන්නහු ය. මාගේ ඇස් හමුයෙහි නපුරු දේ කර, මා ප්‍රිය නොකරන දේ තෝරාගත්තහු ය.”</verse>
				<verse number="13">එබැවින් සමිඳාණන් වන දෙවිඳාණෝ මෙසේ වදාරන සේක: “මට සේවය කරන්නන්ට කන්න තිබිය දී නුඹලාට බඩගිනි වන්නේ ය; ඔවුන්ට බොන්න තිබිය දී නුඹලාට පිපාසා වන්නේ ය; ඔවුන් ප්‍රීති ප්‍රමෝද වෙද්දී නුඹලාට ලජ්ජාව ඇති වන්නේ ය.</verse>
				<verse number="14">ඔවුන් සිතේ ප්‍රීතියෙන් ගී ගයද්දී නුඹලා වේදනාවෙන් හා අධික ශෝකයෙන් කෑමොරගසමින් ළතෝනි කියන්නහු ය.</verse>
				<verse number="15">මා තෝරා ගත්තවුන්ට නුඹලාගේ නාමය සාපයක් මෙන් වන්නේ ය. එහෙත්, එතුමන්ගේ දාසයෝ නව නාමයකින් අමතනු ලබති. මහෝත්තම ස්වාමීන් වන දෙවිඳාණෝ නුඹලා වනසන සේක.</verse>
				<verse number="16">දේශයේ යම් කිසිවෙක් තමාට ආශීර්වාදයක් අයැදින්නේ ද, සත්‍යතාවේ දෙවිඳුන්ගෙන් එය අයැදින්නේ ය. දේශයේ යම් කිසිවෙක් දිවුරන්නේ ද, ඔහු සත්‍යතාවේ දෙවිඳුන්ගේ නමින් දිවුරන්නේ ය. පසුගිය දුක් කරදර අමතක කරනු ලබන්නේ ය. ඒවා මාගේ ඇස් ඉදිරියෙන් පහකරනු ලබන්නේ ය.”</verse>
				<verse number="17">සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම අලුත් අහසක් ද අලුත් පොළොවක් ද මවමි; පසුගිය දේ මතක් කරන්නේ වත්, සිහි කරනු ලබන්නේ වත් නැත.</verse>
				<verse number="18">මා මවන දේ ගැන සදහට ම ප්‍රීති සන්තෝෂ වන්න. මා මවන අලුත් ජෙරුසලම ප්‍රීතියෙන් පූර්ණ වන්නේ ය; එහි වැසියෝ සොම්නසින් වෙසෙති.</verse>
				<verse number="19">
					මම ජෙරුසලම කෙරෙහිත්, මාගේ සෙනඟ කෙරෙහිත් ප්‍රසන්න වෙමි.
					ඇඬීමේ ශබ්දයක් වත්, පීඩිත වේදනාවේ ශබ්දයක් වත් එහි තවත් නොඇසෙන්නේ ය.
				</verse>
				<verse number="20">ස්වල්ප දවසකින් මැරෙන බිළින්දෝ තවත් එහි නොවෙති; පූර්ණ ආයු නොවළඳා මැරෙන මහල්ලෝ නොසිටිති. සිය වසක් ජීවත් වන්නා ‘තරුණයෙකැ’යි ගණන් ගනු ලැබේ. ඒ වයසට පෙර නැසී යන්නා ‘සාප ලද්දෙකැ’යි ගණන් ගනු ලැබේ.</verse>
				<verse number="21">ඔව්හු ගෙවල් ගොඩනඟාගෙන එහි වාසය කරන්නෝ ය. මිදි වතු වවාගෙන එහි පලදාව කන්නෝ ය.</verse>
				<verse number="22">ඔවුන් ගෙවල් ගොඩනඟා ගත් විට, අන් අය ඒවායේ වාසය කරන්නේ වත්, මිදි වතු වවා ගත් විට, අන් අය ඒවායේ පලදාව භුක්ති විඳින්නේ වත් නැත. වෘක්ෂයන් බොහෝ කල් පවතින්නාක් මෙන් මාගේ සෙනඟ බොහෝ කල් ජීවත් වෙති. මාගේ තෝරාගත් සෙනඟ තමන්ගේ අත්වලින් උපයාගත් දේ භුක්ති විඳින්නෝ ය.</verse>
				<verse number="23">ඔවුන්ගේ වැඩ නිරර්ථක නොවන්නේ ය. ඔවුන්ගේ දරුවෝ විපත්තියට පත් නොවන්නෝ ය. මන්ද, ඔව්හු සමිඳුන්ගෙන් ආශීර්වාද ලත් වංශය වෙති. ඔවුන්ගේ දරුවෝ ද එසේ ම වෙති.</verse>
				<verse number="24">ඔවුන් අයැදින්න පෙර මම උත්තර දෙමි; ඔවුන් කතා කරද්දී ම මම සවන් දෙන්නෙමි.</verse>
				<verse number="25">
					වෘකයා ද බැටළු පැටවා ද එකට තණ බුදිති;
					හරකා මෙන් සිංහයා පිදුරු කයි; ධූලි සර්පයාට කෑම වෙයි. මාගේ ශුද්ධ කන්දේ සීමා ඇතුළත කිසි අනතුරක් වත්, විනාශයක් වත් නොවන්නේ ය.”
				</verse>
			</chapter>
			<chapter number="66">
				<verse number="1">සමිඳාණෝ මෙසේ වදාරන සේක; “අහස මාගේ සිංහාසනය ය; පොළොව මාගේ පා පුටුව ය. මා සඳහා නුඹලාට කෙබඳු ගෘහයක් සෑදිය හැකි ද? මාගේ වාසස්ථානය කොතැන විය හැකි ද?</verse>
				<verse number="2">මුළු විශ්වය මැව්වේ මම ය. එබැවින් සියලු දේ මාගේ ය. යටහත්, තැළුණු සිත් ඇති මාගේ වචනයට කීකරු වන මිනිසා මට ප්‍රිය මනාප වේ.</verse>
				<verse number="3">සෙනඟ තමන් කැමැති සේ ක්‍රියා කරති. පූජා කරන පිණිස ගොනෙකු මරන සේ ඔව්හු මිනිසුන් මරති. බැටළු පැටවෙකු පූජා කරන්න මරන සේ බල්ලෙකුගේ බෙල්ල කඩති. ආහාර පූජාවක් ඔප්පු කරන්නා ඌරු ලේ පුදන්නා වැනි ය. තුවරලා දවමින් සිහි කිරීමේ පූජාවක් පිදීම පිළිමයකට බුහුමන් කිරීමක් වැනි ය. ඔව්හු හිතුමතේ කරන පිළිකුල් සහිත පූජාවලට ප්‍රිය වෙති.</verse>
				<verse number="4">එබැවින් මම ඔවුන්ට නිසි විපත්ති නියම කොට, ඔවුන් බිය වන දේ ඔවුන් පිට පමුණුවන්නෙමි. මන්ද, මා අඬගැසූ විට කිසිවෙකු පිළිතුරු දුන්නේ නැත. මා කතා කළ විට කිසිවෙකු සවන් දුන්නේ නැත. ඔව්හු මා ඇස් හමුයෙහි නපුරු දේ කර, මට අප්‍රසන්න දේ තෝරාගත්හ.”</verse>
				<verse number="5">සමිඳුන්ගේ වචනයට කීකරු වන අය එතුමන් කියන දේට සවන් දෙන්න: “මා නිසා සමහර අය නුඹලාට වෛර කොට, නුඹලා කොන් කර ඇත. ‘සමිඳු සිය මහිමය ප්‍රකාශ කළා වේ. එවිට නුඹලාගේ ප්‍රීතිය අපට දැක හැකි ය’යි ඔව්හු කියති. එහෙත්, ලජ්ජාවට පමුණුවනු ලබන්නෝ ඔව්හු ම ය.</verse>
				<verse number="6">අන්න, සවන් දෙන්න; ඝෝෂාව නුවරින් පැමිණෙන්නේ ය. දේව මාලිගාවෙන් හඬක් නික්මෙන්නේ ය. ඒ වනාහි, සමිඳුන් සතුරන්ට දඬුවම් දීමේ හඬ ය.”</verse>
				<verse number="7">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මාගේ ශුද්ධ නගරය වනාහි, ප්‍රසව වේදනාව ඇති වන්න පෙර පිරිමි දරුවෙකු බිහි කළ මාතාවක වැනි ය.</verse>
				<verse number="8">මෙබඳු දෙයක් ඇසූ දුටු කෙනෙක් සිටිත් ද? කිසි කලක එක දවසකින් රටක් බිහි වී ඇද් ද? එක මොහොතකින් ජාතියක් බිහි වේ ද? සියොන් අඟන, ප්‍රසව වේදනාව වින්ද ඇසිල්ලෙහි ම ඇගේ දරුවා බිහි කළා ය.</verse>
				<verse number="9">බිහි වීම ළං කරන මම ඉපදීම නොසලස්වන්නෙම් ද? නොහොත් ඉපදීම සලස්වන මම ගර්භය පියවන්නෙම් ද? මෙසේ පවසන්නේ සමිඳාණන් වන මම ය.”</verse>
				<verse number="10">ජෙරුසලමට ප්‍රේම කරන සියල්ලෙනි, ඈ උදෙසා ප්‍රීති සන්තෝෂ වන්න. ඈ ගැන වැලපෙන සියල්ලෙනි, ප්‍රීතියෙන් ඈ සමඟ ප්‍රීති වන්න.</verse>
				<verse number="11">මෙසේ නුඹලා ඇගේ සැනසිලි ගෙන දෙන පියයුරු උරා, තෘප්තියට පැමිණෙන්නහු ය. ඇගේ බහුල ව ඇති කිරිවලින් ප්‍රීති වන්නහු ය. ඇගේ මහිමය පූර්ණතාවෙන් නොමඳ සොම්නසින් පානය කරන්න.</verse>
				<verse number="12">සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම සෞභාග්‍යය ගංගාවක් මෙන් ද ජාතීන්ගේ යසඉසුරු දෙගොඩ තළා යන ඔයක් මෙන් ද ඈ වෙත හරවමි. නුඹලා එයින් උරා බොන්නහු ය. මවකගේ මෙන් ඇගේ උකුලේ නුඹලා ගෙනයනු ලබන්නහු ය. ඇගේ දෙදණ පිට සුරතල් කරනු ලබන්නහු ය.</verse>
				<verse number="13">මවක ඇගේ දරුවා සනසන්නාක් මෙන් මම නුඹලා සනසන්නෙමි. නුඹලා ජෙරුසලම තුළ සනසනු ලබන්නහු ය.</verse>
				<verse number="14">මෙය දුටු විට නුඹලාගේ සිත් ප්‍රීතියෙන් පිනා යන්නේ ය. එසේ නුඹලා සනීප ශක්තිය ලබන්නහු ය. එවිට සමිඳුන් වන මම මට කීකරු වන්නන්ට ආශීර්වාද කරන බවත්, මාගේ සතුරන්ට උදහස දක්වන බවත් නුඹලා දැනගන්නහු ය.”</verse>
				<verse number="15">සමිඳාණෝ ගිනිදලු සහිත ව වඩින සේක. එතුමන්ගේ රථ වාහන සුළිසුළඟ මෙන් වන්නේ ය. සතුරන් වෙත එතුමන්ගේ ඉමහත් කෝපය විදහා පාන සේක. ගිනිදැල් මෙන් චෝදනා නඟන සේක.</verse>
				<verse number="16">එසේ ය, එතුමාණෝ පොළෝ වැසි සියලු දෙන ගින්නෙන් ද කඩුවෙන් ද විනිශ්චය කරන සේක. මරණු ලබන්නෝ බොහෝ වෙති.</verse>
				<verse number="17">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “උයන්වල පුද පූජා ඔප්පු කරන පිණිස තමන් ම පිරිසිදු කරගනිමින්, පෙළට ගමන් කරමින්, ඌරු මස් ද උරගයන් ද මීයන් ද කන අයගේ අවසානය ළඟ ය.</verse>
				<verse number="18">ඔවුන්ගේ ක්‍රියා හා සිතුවිලි මම දනිමි. විවිධ භාෂා කතා කරන සියලු ජාතීන් එක් රැස් කිරීමට මම පැමිණෙන්නෙමි. ඔවුන් රැස් වූ කල මාගේ තේජාලංකාරය කුමක් දැ යි ඔවුන්ට පෙනෙනු ඇත.</verse>
				<verse number="19">මම ඔවුන් අතරේ සලකුණක් තබන්නෙමි. ඔවුන් අතරෙන් ගැළවී සිටින අය, මාගේ කීර්තිය ගැන නොඇසූ, මාගේ තේජස නොදුටු දුර බැහැර ද්වීපයන් වන තර්ෂිෂ්හි ද පුල්හි ද දුනුවායන් සිටින ලුද්හි ද තුබල්හි ද ජාවාන්හි ද සිටින ජාතීන් වෙත යවන්නෙමි. ඔවුන් ජාතීන් අතරෙහි මාගේ තේජස ප්‍රකාශ කරනු ඇත.</verse>
				<verse number="20">ඔව්හු ඉශ්රායෙල් පුත්‍රයන් සියලු දෙනා ජාතීන් අතරෙන් මට පඬුරක් මෙන් ගෙනෙන්නෝ ය. ඔව්හු, අශ්වයන් පිටින් ද රථවලින් දෝලාවලින් ද අශ්වතරයන් පිටින් ද ඔටුවන් පිටින් ද මාගේ ශුද්ධ කන්ද වන ජෙරුසලමට පිරිසිදු භාජනයක ධාන්‍ය පූජා ගෙනෙනු ලබන සේ ගෙනෙන්නෝ ය.</verse>
				<verse number="21">ඔවුන්ගෙන් සමහරු පූජකයන් ද ලෙවීවරුන් ද වශයෙන් මම පත් කරමි.</verse>
				<verse number="22">“මා විසින් සාදනු ලබන අලුත් අහසත්, අලුත් පොළොවත් මා ඉදිරියෙහි පවතින්නාක් මෙන් නුඹලාගේ වංශය සහ නුඹලාගේ නාමය පවතින්නේ ය.</verse>
				<verse number="23">
					හැම අමාවක් දිනක් හා සබත් දිනක් පාසා ම මට නමස්කාර කරන්න සියලු මනුෂ්‍යයෝ පැමිණෙන්නෝ ය.
				</verse>
				<verse number="24">ඔවුන් පිට වී යන විට මට විරුද්ධ ව වරද කළ අයගේ මළකඳන් දකිනු ඇත. ඔවුන් කාදමන පණුවෝ කිසි කලක නොමැරෙති. ඔවුන් දවාලන ගින්න කිසි කලක නොනිවේ. ඔව්හු සියලු දෙනාට පිළිකුලක් වන්නෝ ය. මෙසේ වදාළේ සමිඳාණන් වන මම ය.”</verse>
			</chapter>
		</book>
		<book number="24">
			<chapter number="1">
				<verse number="1">මේ වනාහි බෙන්ජමින් වංශයට අයිති අනාතොත්හි විසූ පූජකයන්ගෙන් එක් කෙනෙකු වූ හිල්කියාගේ පුත් ජෙරමියාගේ පණිවුඩය ය.</verse>
				<verse number="2">ආමොන්ගේ පුත් ජුදාහි රජ වූ ජොෂියාගේ රාජ්‍ය කාලයේ දහතුන් වන අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ජෙරමියා වෙත පැමිණියේ ය.</verse>
				<verse number="3">ජොෂියාගේ පුත් ජෙහෝයාකිම් ජුදාහි රජ ව සිටි කාලයේ දී ද ජොෂියාගේ පුත්, ජුදාහි රජ වූ ශෙදෙකියාගේ එකොළොස් වන අවුරුද්දේ පස් වන මාසයේ ජෙරුසලමේ වැසියන් විප්‍රවාසයට ගෙනයනු ලැබූ දවස දක්වා ද සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ජෙරමියා වෙත පැමිණියේ ය.‍</verse>
				<verse number="4">සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="5">“මා නුඹ කුසෙහි පිළිසිඳගැනීම ඇති කරන්නටත් පෙර පටන් මම නුඹ හඳුනාගතිමි. නුඹේ උපතට පෙර, මම නුඹ කැප කෙළෙමි; ජාතීන් හට දිවැසිවරයෙකු ලෙස මම නුඹ පත් කෙළෙමි.”</verse>
				<verse number="6">එවිට මම, “මහෝත්තම ස්වාමීන් වන දෙවියන් වහන්ස, මා ළා බාලයෙකු වන බැවින් මම කතා කරන්නට නොදනිමි”යි කීවෙමි.</verse>
				<verse number="7">එහෙත්, සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “නුඹ බාලයෙක් යයි නොකියන්න. මා නුඹ යවන සියල්ලන් වෙත යන්න. මා නුඹට අණ කරන සියල්ල පවසන්න.</verse>
				<verse number="8">ඔවුන්ට බිය නොවන්න. මන්ද, නුඹ ගළවන්නට මම නුඹ සමඟ සිටිමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
				<verse number="9">එවිට සමිඳාණන් වහන්සේ සිය අත දිගු කොට, මාගේ මුඛය ස්පර්ශ කරමින් මට මෙසේ වදාළ සේක: “මෙන්න, මාගේ පණිවුඩය නුඹේ මුඛයෙහි තැබීමි.</verse>
				<verse number="10">උදුරන්නට හා කඩාදමන්නටත්, නැති කරන්නට හා හෙළාදමන්නටත්, ගොඩනඟන්නට හා සිටුවන්නටත් ජාතීන් හා රාජ්‍යයන් කෙරෙහි නුඹට බලය දී අද මම නුඹ පත් කෙළෙමි.”</verse>
				<verse number="11">එවිට සමිඳාණන් වහන්සේ මට කතා කොට, “ජෙරමියා, නුඹට පෙනෙන්නේ කුමක් දැ”යි ඇසූ සේක. “කලින් පිබිදෙන කොට්ටම්බා ගසක් මට පෙනේ ය”යි මම පිළිතුරු දිනිමි.</verse>
				<verse number="12">සමිඳාණන් වහන්සේ කතා කරමින්, “නුඹ දුටු දේ හරි ය. මන්ද, මාගේ වචනය ඉටු කරන පිණිස මම කලින් බලා සිටිමි”යි වදාළ සේක.</verse>
				<verse number="13">එවිට සමිඳාණන් වහන්සේ දෙ වන වරටත් මට කතා කොට, “නුඹට පෙනෙන්නේ කුමක් දැ”යි ඇසූ සේක. “උතුරු දෙසින් මේ දෙසට කට හැරී ඇති උතුරන හැළියක් මට පෙනේ”යයි මම පිළිතුරු දිනිමි.</verse>
				<verse number="14">එවිට සමිඳාණන් වහන්සේ කතා කොට මට මෙසේ වදාළ සේක: “මේ දේශයේ සියලු වැසියන් පිට උතුරු දෙසින් විපාක කඩා වැටෙන්නේ ය.</verse>
				<verse number="15">මා කියන දේට සවන් දෙන්න. උතුරු දිග රට රාජ්‍යවල සියලු වංශවලට මම අඬගසන්නෙමි. ඔවුන්ගේ රජවරු පැමිණ ජෙරුසලමේ දොරටු අසල ද නගරය වට කළ පවුර අවට ද ජුදාහි සෙසු නගර තුළ ද සිහසුන් පිහිටුවා ගන්නෝ ය.</verse>
				<verse number="16">ඔවුන් මා අත්හැර, අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කර, සිය අත්වලින් සාදාගත් දේව රූපවලට නමස්කාර කළ බැවින්, ඔවුන්ගේ සියලු පාපවලට විරුද්ධ ව මාගේ විනිශ්චයයන් ප්‍රකාශ කරන්නෙමි.</verse>
				<verse number="17">ඒ නිසා, නුඹ ධෛර්යවත් වී ගොස් මා නුඹට අණ කරන සියල්ල ඔවුන්ට කියන්න. ඔවුන් ඉදිරියෙහි දී මා නුඹ නොකලඹන පිණිස දැන් ඔවුන් ගැන නොකැළඹී සිටින්න.</verse>
				<verse number="18">මෙන්න, මුළු දේශයට විරුද්ධ ව ද ජුදාහි රජවරුන්ටත්, අධිපතීන්ටත්, පූජකයන්ටත්, දේශයෙහි සෙනඟටත් විරුද්ධ ව ද අද නුඹ සුරක්ෂිත නගරයක් ද යකඩ කුළුණක් ද ලෝකඩ පවුරක් ද මෙන් ශක්තිමත් කෙළෙමි. මන්ද, මම නුඹ සමඟ සිටින්නේමි.</verse>
				<verse number="19">නුඹට විරුද්ධ ව ඔව්හු සටන් කරන්නෝ ය. එහෙත්, නුඹ පරාජය කරන්නට ඔවුන්ට නොහැකි ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මට කතා කොට, මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“ගොස්, ජෙරුසලමේ වැසියන්ට ඇසෙන ලෙස සමිඳාණන් වහන්සේගේ මේ පණිවුඩය ප්‍රකාශ කරන්න. යොවුන් වියෙහි නුඹ විශ්වාසවන්ත ව සිටි හැටිත්, භාර්යාවකට මෙන් මා නුඹට ප්‍රේම කළ හැටිත්, නොවපුළ දේශයක් වූ පාළුකරයෙහි නුඹ මා පසුපස්සේ ආ හැටිත් මම සිහි කරමි.</verse>
				<verse number="3">එම්බා ඉශ්රායෙලය! නුඹ මට පමණක් අයිති ව සිටියෙහි ය. නුඹ මට අස්වැන්නේ නාඹුල් ඵලය මෙන් විය. එයින් කෑ සියල්ලෝ වරදකරුවෝ වූ හ. ඒ නිසා ඔව්හු විපතට පත් වූ හ. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
				<verse number="4">“ජාකොබ්ගේ වංශයේ හා ඉශ්රායෙල් වංශයේ හැම පවුලක් ම සමිඳාණන් වහන්සේගේ පණිවුඩයට සවන් දෙන්න.</verse>
				<verse number="5">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹලාගේ පියවරුන් මා වෙතින් ඈත් වී, නිවට දේව රූපවලට ඇදී ගොස්, නිවට බවට පත් වූයේ, මා කළ කුමන වරදක් නිසා ද?</verse>
				<verse number="6">‘මිසරයේ වහල්කමින් අප මුදා, වළවල් ගහණ වූ, නියඟ හා ගන’ඳුර ඇති, කිසිවෙකු ගමන්බිමන් නොයන, මිනිසුන් නොගැවසෙන දේශයක් වන, පාළුකරය මැදින් ගෙන ගිය සමිඳාණන් වහන්සේ කොහි දැ’යි ඔව්හු නොඇසූ හ.</verse>
				<verse number="7">පල අනුභව කිරීම පිණිස ද යහපත් දේ භුක්ති විඳීම පිණිස ද මා නුඹලා සාරවත් දේශයකට පැමිණෙවූ නමුත්, නුඹලා ඒ දේශයට ඇතුළු වී, එය කෙලෙසා මාගේ උරුමය පිළිකුලක් කළහු ය.</verse>
				<verse number="8">පූජකයෝ, ‘සමිඳාණන් වහන්සේ කොහි දැ’යි කිසි විටක නොඇසූ හ. ව්‍යවස්ථාව සම්බන්ධ කටයුතුවල යෙදී සිටින්නෝ මා නොහැඳින සිටියෝ ය. පාලකයෝ ද මට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය. දිවැසිවරු බාල්ගේ නමින් කතා කරමින් වැඩක් නැති දේව රූපවලට නමස්කාර කළහ.”</verse>
				<verse number="9">“එබැවින් මාගේ සෙනඟට හා ඔවුන්ගේ දරුවන්ගේ දරුවන්ටත් විරුද්ධ ව මම නැවතත් පැමිණිල්ලක් කරමි.</verse>
				<verse number="10">බස්නාහිරින් පිහිටි සයිප්‍රසයට ගොස් බලා, නැත්නම්, නැගෙනහිරින් පිහිටි කේදාර්ට කෙනෙකු යවා, හොඳට සෝදිසි කර මෙවැන්නක් මීට පෙර වී තිබේ දැ යි කියා බලන්න.</verse>
				<verse number="11">කිසි ජාතියක් සිය දෙවිවරුන්, ඇත්තට ම දෙවිවරුන් නොවෙතත් ඒ දෙවිවරුන් වෙනස් කරගෙන ඇද් ද? එහෙත්, මාගේ සෙනඟ ඔවුන්ගේ මහිමාන්විතයාණන් නිසරු දේවලට මාරු කරගෙන ඇත.</verse>
				<verse number="12">අහෝ අහස! මේ ගැන බියට පත් වී, ත්‍රස්ත වී මවිත වන්න. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.</verse>
				<verse number="13">මාගේ සෙනඟ දෙවිධියක පව් කර ඇත. ඔව්හු ජීවන වතුර උල්පත වන මා අත්හැර දමා, තමන්ට ම කටාරම්, වතුර නාල්ලන බිඳුණු කටාරම් කපාගත්හ.”</verse>
				<verse number="14">“ඉශ්රායෙල් දාසයෙක් ද? නොහොත් ගෙයි උපන් වහලෙක් ද? සිය සතුරන්ට ඉශ්රායෙල් ගොදුරු වී සිටින්නේ මන් ද?</verse>
				<verse number="15">ඔවුන් ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සිංහයන් මෙන් ගොරවා ඇත; මහා හඬින් ගොරවා ඇත. ඔවුන් දේශය පාළු කර ඇත. එහි නගර දැන් නටබුන් ය. කිසිවෙක් එහි ජීවත් නොවෙති.</verse>
				<verse number="16">මෙම්පිස් හා තාපන්හේස්හි සෙනඟ ඉශ්රායෙල්වරුන්ගේ බලය බිඳදමා ඇත.</verse>
				<verse number="17">එම්බා ඉශ්රායෙලය! නුඹේ දෙවි ස්වාමීන් වන මා නුඹ මාර්ගයෙහි ගෙන යන විට පවා නුඹ මා අත්හළ නිසා මේ දේ නුඹ පිට, නුඹ පිට ම, පමුණුවාගත්තා නොවේ ද?</verse>
				<verse number="18">ඉදින්, මිසරයට යෑමෙන් නුඹ කුමක් අත්කරගන්නට බලාපොරොත්තු වන්නෙහි ද? නුඹ අදහස් කරන්නේ එහි නයිල් ගඟෙන් වතුර බොන්නට ද? අසිරියාවට යෑමෙන් නුඹ කුමක් අත්කරගන්නට බලාපොරොත්තු වන්නෙහි ද? නුඹ අදහස් කරන්නේ යුප්‍රටීස් ගඟෙන් වතුර බොන්නට ද?</verse>
				<verse number="19">නුඹේ නපුරුකම නුඹට පඩිසන් දෙයි; මට ද්‍රෝහි වීම නුඹට දොස් පවරයි. නුඹේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ අත්හැරදමා යාමත්, මා කෙරෙහි තවත් ගරුබිය නොදැක්වීමත් කොතරම් නපුරු අප්‍රිය දෙයක් දැ යි හොඳින් සලකා බලන්න. මෙසේ වදාරන්නේ සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ ය.”</verse>
				<verse number="20">සියලු බලැති මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “එම්බා ඉශ්රායෙලය, අතීතයේ දී නුඹ මාගේ වියගහ නමැති පාලනයත් මට කීකරුවීමත් ප්‍රතික්ෂේප කර, ‘මම සේවය නොකරන්නෙමි’යි කීවෙහි ය. එහෙත්, උස් වූ හැම හෙලක් පිට ද අතුපතර ඇති හැම ගසක් යට ද නුඹ වැතිර වෙසඟනක මෙන් අන් දෙවිවරුන්ට නමස්කාර කෙළෙහි ය.</verse>
				<verse number="21">මම නුඹ හොඳ වර්ගයේ මිදි වැලක් ද ඉතා ම හොඳ බීජයක් ද මෙන් සිටෙව්වෙමි. එහෙත්, නුඹ නරක් වූ වල් මිදි වැලක් බවට පත් වූයේ කෙසේ ද?</verse>
				<verse number="22">නුඹ ලුණු මුසු දියෙන් නුඹ ම සෝදා ගත්තත්, බොහෝ සේ සබන් ගාගත්තත්, නුඹේ පාප මා ඉදිරියෙහි නොමැකී පෙනේ. මෙසේ පවසන්නේ දෙවි සමිඳාණන් වහන්සේ වන මම ය.</verse>
				<verse number="23">‘මම අපවිත්‍ර නොවෙමි’යි ද, ‘බාල් දෙවියන්ට නමස්කාර නොකෙළෙමි’යි ද නුඹ කියන්නේ කෙසේ ද? මිටියාවතේ නුඹ පව් කළ අන්දමත්, එහි නුඹ කළ දේත් දෙස බලන්න. නුඹ ඒ මේ අත දුවන ඔටු දෙනක හා සමාන ය.</verse>
				<verse number="24">නුඹ තෘෂ්ණාවෙන් දැවෙමින් ඉව අල්ලන කාන්තාරයේ වල් කොටළු දෙනක හා සමාන ය. ඈ කුල්මත් වී සිටින විට ඈ දමනය කළ හැක්කේ කාට ද? ඈ සොයන පිරිමි සතාට වෙහෙස වීමට වුවමනාවක් නැත. පට්ටිගසන කාලයේ දී ඈ පහසුවෙන් සොයාගත හැකි ය.</verse>
				<verse number="25">එම්බා ඉශ්රායෙලය! නුඹේ පාදවල වහන් නැති වෙන්නට වත්, නුඹේ උගුර පිපාසයෙන් වේළෙන්නට වත්, ඉඩ නොදෙන්න. එහෙත්, නුඹ, ‘එය නිෂ්ඵල ය, එසේ නොව මම අමුත්තන්ට ආලය කෙළෙමි, ඔවුන් පසුපස්සේ යමි’යි කියන්නෙහි ය.”</verse>
				<verse number="26">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සොරෙකු අසු වූ විට ලජ්ජාවට පැමිණෙන්නාක් මෙන්, ඉශ්රායෙල් ජනයෙනි, නුඹලාගේ රජවරු ද අධිපතියෝ ද පූජකවරු ද දිවැසිවරු ද ඇතුළු සියලු දෙනා ලජ්ජාවට පැමිණෙති.</verse>
				<verse number="27">ගසකට, ‘නුඹ මාගේ පියා ය’ කියා ද ගලකට ‘නුඹ මාගේ මව ය’ කියා ද කියන නුඹලා සියලු දෙනා ලජ්ජාවට පත් වනු ඇත. මෙසේ වන්නේ, නුඹලා මා වෙත නොහැරී මට පිටු පෑ බැවිනි. එහෙත්, නුඹලා විපතට පත් වූ විට ‘නැඟිට අප ගැළෙවුව මැනවැ’යි මට කන්නලව් කරන්නහු ය.</verse>
				<verse number="28">“නුඹලා උදෙසා සාදාගත් දෙවිවරු කොයි ද? නුඹලා විපතට පත් වී සිටින විට ඔවුන්ට හැකි නම්, ඔව්හු නුඹලා ගළවා ගනිත් වා! එම්බා ජුදාව! නුඹට නගර ඇති පමණට නුඹට දෙවිවරු ද සිටිති.</verse>
				<verse number="29">මට විරුද්ධ ව ඇති නුඹලාගේ පැමිණිල්ල කුමක් ද? මට විරුද්ධ ව නුඹලා කැරලි ගසන්නේ මන්දැ යි ස්වාමීන් වන මම අසමි.</verse>
				<verse number="30">මා නුඹලාගේ දරුවන්ට දඬුවම් කළ නමුත්, එයින් යහපතක් නො වී ය. නුඹලා දැනුමැතිකම් පිළිගන්නේත් නැත. වනසාදමන සිංහයෙකු සේ ඔව්හු කඩුවෙන් දිවැසිවරුන් මරාදැමූ හ.</verse>
				<verse number="31">මුළු ඉශ්රායෙල් ජනයෙනි, මා නුඹලාට කියන මේ දේට සවන් දෙන්න. මම ඉශ්රායෙල්වරුන්ට කාන්තාරයක් නොහොත් අන්ධකාර දේශයක් මෙන් වූයෙම් ද? එසේ නොවේ නම්, ‘අප නිදහස් ව ඇත; අපි ඔබ වෙත නොපැමිණෙන්නෙමු’යි මාගේ සෙනඟ කියන්නේ මන් ද?</verse>
				<verse number="32">තරුණ කාන්තාවක ඇගේ ආභරණ ද මනමාලියක ඇගේ මඟුල් ඇඳුම ද අමතක කරනු ඇද් ද? එහෙත්, මාගේ සෙනඟ ගණන් කළ නොහැකි තරම් දවස් ගණනාවක් මා අමතක කළහ.</verse>
				<verse number="33">පෙම්වතුන් ලුහුබැඳ යන්නට නුඹලා හොඳ හැටි දන්නහු ය. නුඹලා නපුරු ස්ත්‍රීන්ට පවා නුඹලාගේ මාර්ග උගන්වා ඇත.</verse>
				<verse number="34">අසරණයන්ගේ නිදොස් ලෙය නුඹලාගේ ඇඳුම්වල තැවරී ඇත. ඔවුන් නුඹලාගේ ගෙවල් බින්දේ නැත.</verse>
				<verse number="35">එසේ වුව ද, නුඹලා, ‘මම නිදොස් ය; ඇත්තෙන් ම අප සමිඳාණන් වහන්සේ මා සමඟ උදහස් වී නැතැ’යි කියන්නහු ය. ‘අප පව් කර නැතැ’යි නුඹලා කියන නිසා ස්වාමීන් වන මම නුඹලාට දඬුවම් කරන්නෙමි.</verse>
				<verse number="36">නුඹලා මාර්ග වෙනස් කරගනිමින් වගකීමෙන් තොර ව තැනින් තැන යන එන රඟ! අසිරියාව මඟින් නුඹලා ලජ්ජාවට පත් වූවාක් මෙන් මිසරය මඟින් ද නුඹලා ලජ්ජාවට පත් වන්නහු ය.</verse>
				<verse number="37">නුඹලා ලජ්ජාවෙන් ඔලුව බදාගෙන මිසරයෙන් ද පිටතට යන්නහු ය. ස්වාමීන් වන මම නුඹලා විශ්වාස කළ අය ප්‍රතික්ෂේප කෙළෙමි. ඔවුන් නුඹලාට සව් සැප අත්කර දෙන්නේ නැත.”</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළසේක: “මිනිසෙකු සිය භාර්යාව දික්කසාද කළ පසු, ඈ ඔහුගෙන් වෙන් වී ගොස් වෙන මිනිසෙකුගේ භාර්යාව වූවොත්, පළමු පුරුෂයා නැවත ඈ වෙත හැරී යනු ඇද් ද? එසේ කිරීමෙන් සහමුලින් ම දේශය අපවිත්‍ර නොවන්නේ ද? එහෙත්, ඉශ්රායෙලය, නුඹ පෙම්වතුන් බොහෝ දෙනෙකු සමඟ වේශ්‍යාකම් කෙළෙහි ය. එහෙයින් මා වෙත හැරී එන්නට නුඹට පුළුවන් ද? මෙසේ පවසන්නේ දෙවි සමිඳාණන් වහන්සේ ය.</verse>
				<verse number="2">පාළු කඳු දෙසට ඇස් ඔසවා බලා, නුඹ වේශ්‍යාකම් නොකළ තැනක් ඇද්දැ යි බලන්න. කාන්තාරයේ බලා සිටින අරාබියෙකු සේ පෙම්වතුන් එන තෙක් නුඹ පාර අයිනේ බලා සිටියෙහි ය. නුඹේ දූෂිත වේශ්‍යාකම් නිසා නුඹ දේශය අපවිත්‍ර කෙළෙහි ය.</verse>
				<verse number="3">වැහිවලා වළක්වනු ලැබුවේත්, වසන්ත කාලයේ වැසි නොවැස්සේත් ඒ නිසා ය. වේශ්‍යාවකගේ පෙනුම නුඹට ඇත; එහෙත්, නුඹට කිසි ලජ්ජාවක් නැත.</verse>
				<verse number="4">“දැන් පවා නුඹ මට මෙසේ හඬ නොගැසුවෙහි ද? ‘පියාණෙනි, මාගේ තරුණ වියෙහි දී ඔබ වහන්සේ මට ප්‍රේම කළ සේක.</verse>
				<verse number="5">ඔබ වහන්සේ මා සමඟ කෝප වන්නේ නැත; සදහට ම මා සමඟ උරණවන සේක් ද?’ ඉශ්රායෙලය, නුඹ එසේ කී නමුත් නුඹට හැකි නපුරුකම් සියල්ල ම නුඹ කර ඇත.”</verse>
				<verse number="6">ජොෂියා රජු දවස සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “අර ඉශ්රායෙල් අඟන, මට ද්‍රෝහි ව කළ දේ නුඹ දුටුවෙහි ද? ඈ උස් වූ සියලු කඳු උඩටත්, සියලු අතුපතර ඇති ගස් යටටත් ගොස් එහි දී වේශ්‍යාකම් කළා ය.</verse>
				<verse number="7">‘ඈ ඒ සියල්ල කළ පසු මා වෙත හැරී එනු ඇතැ’යි ස්වාමීන් වන මම සිතුවෙමි. එහෙත්, ඈ හැරී ආවේ නැත. ඇගේ ද්‍රෝහිකාර සොහොයුරී වන ජුදා අඟන එය දුටුවා ය.</verse>
				<verse number="8">ඉශ්රායෙලය මට පක්ෂපාතකම අත්හැර වේශ්‍යාවක වූ බැවින් මා ඈ දික්කසාද කර පලවා හැරිය බව ජුදා අඟන දුටුවා ය. එහෙත්, ඉශ්රායෙල්ගේ ද්‍රෝහිකාර සොහොයුරිය වන ජුදා බිය නොවී ගොස් වේශ්‍යාකම් කළා ය.</verse>
				<verse number="9">වේශ්‍යාකම සුළු දෙයක් කොට සලකා ගල් හා ගස්වලට නමස්කාර කිරීමේ වේශ්‍යාකමින් ඈ දේශය පිළිකුල් කළා ය.</verse>
				<verse number="10">මේ සියල්ල කළ පසු ඉශ්රායෙල්ගේ ද්‍රෝහිකාර සොහොයුරිය වන ජුදා සැබෑ සිතින් නොව ව්‍යාජ සිතින් මා වෙත හැරී ආවා ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
				<verse number="11">එවිට සමිඳාණන් වහන්සේ මට කතා කොට, “ඉශ්රායෙල් උන් වහන්සේට ඇති පක්ෂපාතකමින් ඉවත් ව ගිය නමුත්, ද්‍රෝහිකාර ජුදාව තරම් වරදකාරියක් නොවූවා යැ”යි වදාළ සේක.</verse>
				<verse number="12">උතුරු දෙසට ගොස් ඉශ්රායෙල්ට මෙසේ පවසන්නට යයි උන් වහන්සේ මට වදාළ සේක: “ඉවත් ව ගිය ඉශ්රායෙල් ආපසු හැරී එන්න. ස්වාමීන් වන දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක. මම කරුණාවන්ත බැවින් නුඹ දෙස කෝපයෙන් නොබලන්නෙමි; සදහට ම උදහස තබා නොගන්නෙමි.</verse>
				<verse number="13">වරද කළ නුඹ නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගැසූ බව පිළිගන්න. මාගේ හඬට කීකරු නොවී, හැම අතුපතර ඇති ගස් යට විදේශීය දෙවිවරුන්ට නුඹේ ආදරය දුන් බව පිළිගන්න. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="14">“මා කෙරෙන් වෙන් ව ගිය දරුවෙනි, මා නුඹලාගේ ස්වාමීන් වන බැවින් මා වෙත හැරී එන්න. මම නගරයකින් එක් කෙනෙකු ද වංශයකින් දෙදෙනෙකු ද නුඹලා අතරෙන් පිළිගෙන සියොන් කන්දට පමුණුවන්නෙමි.</verse>
				<verse number="15">මට හිතවත් පාලකයන් නුඹලාට දෙන්නෙමි. ඔවුන් ප්‍රඥාවෙන් ද සිහි නුවණින් ද නුඹලා පෝෂණය කරනු ඇත.</verse>
				<verse number="16">මෙසේ නුඹලා දේශයේ වැඩි වී බහුල වූ විට, ගිවිසුම් කරඬුව ගැන සෙනඟ තවත් කතා කරන්නේ වත්, ඒ ගැන සිහි කරන්නේ වත් නැත; තවත් ගිවිසුම් කරඬුවක් ඔවුන් සාදාගන්නේ වත් නැත.</verse>
				<verse number="17">ඒ කාලය පැමිණි විට ජෙරුසලම සමිඳාණන් වහන්සේගේ සිංහාසනය යයි කියනු ලබන්නේ ය. සියලු ජාතීන් සමිඳාණන් වහන්සේ වැඩ සිටින ජෙරුසලමේ රැස් වනු ඇත. ඔව්හු තමන්ගේ නපුරු සිතිවිලි අනුව මුරණ්ඩුකමින් තවත් නොහැසිරෙන්නෝ ය.</verse>
				<verse number="18">ඒ කාලයේ දී ජුදා වංශය ඉශ්රායෙල් වංශය සමඟ එක් වී උතුරු දේශයේ සිට මා විසින් නුඹලාගේ පියවරුන්ට උරුම කර දෙන ලද දේශයට එක් ව එනු ඇත.”</verse>
				<verse number="19">“ඉශ්රායෙලය, නුඹ මාගේ දරුවා වශයෙන් පිළිගෙන, ලොවේ ඇති ඉතා ම අලංකාර, ප්‍රියංකර දේශය නුඹට උරුම කොට දෙන්නෙමි. නුඹ මට ‘පියාණෙනි’යි අමතමින් මා වෙතින් ඉවත් ව නොයනු ඇතැ යි මම සිතුවෙමි.</verse>
				<verse number="20">එහෙත්, ඉශ්රායෙල් වංශය, භාර්යාවක ඇගේ පුරුෂයාට ද්‍රෝහිකම් කර වෙන් වී යන ලෙස නුඹලා මට විරුද්ධ ව ද්‍රෝහිකම් කළහු ය. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.</verse>
				<verse number="21">“පාළු කඳු මුදුනෙහි හඬක් ඇසෙයි. ඒ වනාහි, ඉශ්රායෙල් සෙනඟ පවිටු මඟ ගිය නිසාත්, තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අමතක කළ නිසාත් නැඟෙන ඔවුන්ගේ විලාපයේ හා කන්නලව්වේ හඬ ය.</verse>
				<verse number="22">සමිඳාණන් වහන්සේට විපක්ෂ ව ගිය දරුවෙනි, ආපසු හැරී එන්න. මම නුඹලාගේ ද්‍රෝහිකම නවත්වා නුඹලා සුව කරන්නෙමි. එවිට නුඹලා මෙසේ පිළිතුරු දෙන්නහු ය: ‘මෙන්න අපි ඔබ වහන්සේ වෙත පැමිණ සිටිමු; මන්ද, ඔබ වහන්සේ අපේ දෙවි සමිඳාණන් වහන්සේ ය.</verse>
				<verse number="23">සැබැවින් ම හෙල් මුදුන්හි මායාව ද කඳු මුදුන්හි මධුපානෝත්සවය ද කරන සෙනඟගෙන් වත් අපට පිහිටක් නැත. ඉශ්රායෙල්ට සැබැවින් ම ගැළවීම ලැබෙන්නේ ස්වාමීන් වන දෙවියන් වහන්සේගෙන් ය.</verse>
				<verse number="24">බාල් නම් නින්දිතකමේ දෙවියා අපේ බාල වයසේ පටන් අපේ පියවරුන්ගේ වස්තු ද ඔවුන්ගේ බැටළුවන් සහ ගවයන් ද ඔවුන්ගේ පුත්‍රයන් සහ දූවරුන් ද කාදැමුවේ ය.</verse>
				<verse number="25">අපි ලජ්ජාවෙන් වැතිර සිටියෙමු. අපේ නින්දාව අප වසාගනී වා. මන්ද, අපේ බාල වයසේ පටන් අද දවස දක්වා අපි ද අපේ පියවරු ද අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවී උන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමු.’ “</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉතින් ඉශ්රායෙල්, නුඹ හැරී ආ යුත්තේ මා වෙත ය. මා පිළිකුල් කරන දේවරූප ස්ථීර ව පහකර දමා නුඹ මට පක්ෂපාත වන්නෙහි නම්,</verse>
				<verse number="2">සැබෑ ලෙසත්, යුතු ලෙසත්, අවංක ලෙසත් ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරන්නෙහි නම්, සියලු ජාතීහු නුඹ ආසිරිලත් අයුරින් ආසිරි පතා මට ප්‍රශංසා කරන්නෝ ය.”</verse>
				<verse number="3">සමිඳාණන් වහන්සේ ජුදාහි ද ජෙරුසලමෙහි ද වැසියන්ට මෙසේ වදාරන සේක: “කටු අතරේ නොවපුරා පුරන් බිම් කොටා ගන්න.</verse>
				<verse number="4">ජුදාහි වැසියෙනි, ජෙරුසලමේ වැසියෙනි, නුඹලාගේ සිතෙන් පාප මල කපා හරින්න. එසේ නොකළොත්, නුඹලාගේ ක්‍රියාවල නපුරුකම නිසා මාගේ කෝපය ගිනි මෙන් නික්ම කිසිවෙකුට නිවන්නට බැරි ලෙස ඇවිලෙනු ඇත.”</verse>
				<verse number="5">“දේශය මුළුල්ලේ හොරණෑව පිඹ මොරගසා, ‘අපි එක්රැස් වී බලකොටු සහිත නගරවලට යමු’ කියා ජුදාව පුරා පතුරුවන්න; ජෙරුසලමේ ප්‍රකාශ කරන්න.</verse>
				<verse number="6">සියොන් දෙසට සංඥාවක් දෙන සංකේතයක් නඟන්න; ගැළවෙන පිණිස නොනැවතී දුවන්න. මන්ද, සමිඳාණන් වහන්සේ උතුරෙන් විපත්තියක් ද මහා විනාශයක් ද පමුණුවන සේක;</verse>
				<verse number="7">සිංහයෙක් සිය වනයෙන් නික්මුණේ ය. ජාතීන් වනසන්නෙක් නික්ම ගියේ ය. නුඹේ දේශය පාළු කරන පිණිස ඔහු තමාගේ ස්ථානයෙන් පිටත් වී ගමන් කරන්නේ ය; වැසියෙකු ඉතිරි නොවන හැටියට නුඹේ නගර විනාශ වන්නේ ය.</verse>
				<verse number="8">එබැවින් ගෝණි රෙදි ඇඳගෙන, විලාප කියමින්, කෑමොරගසන්න. මන්ද, සමිඳාණන් වහන්සේගේ බලවත් උදහස ජුදාවෙන් පහ ව නොගියේ ය.”</verse>
				<verse number="9">සමිඳාණන් වහන්සේ කතා කොට, “ඒ දවසේ දී රජුගේ සිත ද අධිපතීන්ගේ සිත් ද අධෛර්ය වන්නේ ය; පූජකයෝ බියපත් වන්නෝ ය. දිවැසිවරු ත්‍රස්ත වන්නෝ ය”යි වදාළ සේක.</verse>
				<verse number="10">එවිට මම කතා කොට, “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස! ඔබ වහන්සේ ජෙරුසලම් ජනයා සහමුලින් ම රැවටූ සේක: මන්ද, ‘සාමය ඇති වන්නේ ය’යි ඔබ වදාළ නමුත්, දැන් ඔවුන්ගේ ගෙලට කඩුව එල්ල වී ඇතැ”යි කීවෙමි.</verse>
				<verse number="11">සමිඳාණන් වහන්සේගෙන් මාගේ සෙනඟ දෙසට කඳු මුදුන්වලින් හමන සුළඟ පොළනු ලබන්නට වත්, ශුද්ධ කරනු ලබන්නට වත් හමන සුළඟක් නොව, ඊට වඩා දවාලන සුළඟක් බව ජෙරුසලමට සහ එහි වැසියන්ට කියන කාලය පැමිණෙන්නේ ය. එය පෙළීමට වත් ශුද්ධ කිරීමට වත් නොවන්නේ ය.</verse>
				<verse number="12">සමිඳාණන් වහන්සේගේ නියමයෙන් ඇති වන ඒ සුළඟ එයට වඩා දරුණු ය. දැන් සමිඳාණන් වහන්සේ ම සිය සෙනඟට විරුද්ධ ව විනිශ්චය ප්‍රකාශ කරන සේක.</verse>
				<verse number="13">“බලන්න, සතුරා වලාකුළු මෙන් ද ඔහුගේ රථ සුළි සුළඟක් මෙන් ද නැඟී එන්නේ ය. ඔහුගේ අශ්වයෝ රාජාලින්ට වඩා ශීඝ්‍ර ය. අහෝ, අපට වන විපතක මහත! අපි විනාශයි!</verse>
				<verse number="14">“එම්බා ජෙරුසලම! නුඹ ගැළවෙන පිණිස නුඹේ සිත සෝදාගෙන එහි ඇති නපුරුකම් පහ කරන්න. නුඹේ නපුරු සිතිවිලි නුඹ තුළ කොපමණ කල් පවතිනු ඇද් ද?</verse>
				<verse number="15">“දාන් සිට ද එප්‍රායිම් කන්ද කෙරෙන් ද නුඹට වන විපත ගැන කතාව පැතිරී යන්නේය.</verse>
				<verse number="16">ජුදා නගරවලට විරුද්ධ ව ද හඬ නඟමින් දුර රටක සිට ඒවා වටකරින් එන බවට අනතුරු අඟවන්න; ජෙරුසලමේ එය ප්‍රකාශ කරන්න.</verse>
				<verse number="17">ජුදා මට විරුද්ධ ව කැරලි ගසා ඇති බැවින්, මුරකරුවන් කෙතක් වටකර සිටින්නාක් මෙන් සතුරන් ජෙරුසලම වටලනු ඇත. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ ය.</verse>
				<verse number="18">“නුඹේ කල්ක්‍රියාවෙන් හා නුඹ කළ කී දෙයින් නුඹ ම මේ විපත නුඹ පිට පමුණුවාගෙන ඇත. මෙය නුඹේ ඉරණම වේ. එය ඉතා දරුණු ය, එය නුඹේ හදවත සිදුරු කර ඇත.”</verse>
				<verse number="19">අනේ! මාගේ දරුණු වේදනාව, මාගේ දරුණු වේදනාව. ඒ වේදනාවෙන් මම ඇඹරෙන්නෙමි. අහෝ මාගේ පපුව! මාගේ පපුව තදින් ගැහෙයි. මට නිශ්ශබ්ද ව සිටින්නට බැරි ය. මන්ද, හොරණෑ හඬත්, රණ හඬත් මට ඇසුණේ ය.</verse>
				<verse number="20">විපත පිට විපත පැමිණ ඇත; මුළු රට ම නාස්ති වී ඇත. හදිසියේ ම මාගේ කූඩාරම විනාශ විය; එහි තිර වැසුම් ඉරී ගියේ ය.</verse>
				<verse number="21">කොපමණ කල් මම ධජ සංකේතය දෙස බලා සිටිම් ද? කොපමණ කල් යුද්ධ හොරණෑ හඬ අසම් ද?</verse>
				<verse number="22">සමිඳාණන් වහන්සේ කතා කොට, “මාගේ සෙනඟ අඥාන ය; ඔව්හු මා නොහඳුනති; ඔව්හු මෝඩ දරුවන් වැනි ය; ඔවුන්ට කිසි තේරුමක් නැත; නපුරු දේ කිරීමට ඔව්හු දක්ෂ ය, එහෙත්, යහපත කිරීමට ඔව්හු නොදනිති”යි වදාළ සේක.</verse>
				<verse number="23">පොළොව දෙස බැලූ විට එය පාළු ව, හිස් ව තිබෙන බවත්, අහස දෙස බැලූ විට එහි එළිය නැති බවත් මම දිටිමි.</verse>
				<verse number="24">කඳු දෙස බැලූ විට ඒවා කම්පා වන බවත්, සියලු හෙල් වැනෙන බවත් දිටිමි.</verse>
				<verse number="25">මා බැලූ විට, කිසි ම මිනිසෙකු නොසිටි බවත්, අහසේ සියලු පක්ෂීන් පලා ගොස් ඇති බවත් දිටිමි.</verse>
				<verse number="26">මා බැලූ විට, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි උන් වහන්සේගේ බලවත් උදහස නිසා සාරවත් දේශය කාන්තාරයක් වූ බවත්, එහි සියලු නගර නටබුන් වී තිබෙන බවත් දිටිමි.</verse>
				<verse number="27">මුළු පොළොව ම පාළු වන බවත්, ඒ නමුත් තීන්දුවට ම උන් වහන්සේ එය විනාශ නොකරන බවත් සමිඳාණන් වහන්සේ වදාරා ඇත.</verse>
				<verse number="28">මිහි කත වැලපෙන්නී ය; අහස අඳුරු වන්නේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ එය අදහස් කර ඇත; උන් වහන්සේ ආපසු බලන්නේ වත්, සිය අදහස වෙනස් කරන්නේ වත් නැත.</verse>
				<verse number="29">සියලු නගරවල වැසියෝ අසරුවන්ගේ ද දුනුවායින්ගේ ද ඝෝෂාවට පලා ගොස් බැදිවලට ඇතුළු වෙති; පර්වතවලට නඟිති. සියලු ම නගර අත්හරිනු ලැබ ඇත. කිසිවෙක් එහි වාසය නොකරති.</verse>
				<verse number="30">පාළුවට ගිය ජෙරුසලම, නුඹ රතු වස්ත්‍ර පැළඳගත්තත්, ස්වර්ණාභරණවලින් සැරසුණත්, නුඹේ ඇස්වල අඳුන් ගාගත්තත්, නුඹේ අලංකාර වීම නිෂ්ඵල වන්නේ ය. නුඹේ ප්‍රේම වන්තයෝ නුඹ ප්‍රතික්ෂේප කරති; ඔව්හු නුඹේ ප්‍රාණය හානි කරන්නට සොයති.</verse>
				<verse number="31">විළිරුජා ඇති ස්ත්‍රියකගේ හැඬීම මෙන් ද කුලුඳුලා බිහි කරන ස්ත්‍රියකගේ ප්‍රසව වේදනාව මෙන් ද සියොන් දුවගේ හඬ මට ඇසුණේ ය. ඈ හතිදමමින් කෙඳිරිගාමින්, ඇගේ අත් විදහාගෙන, “අහෝ! මට විපත ය; මා මරන්නට එන අය ඉදිරියේ මම ක්ලාන්ත වෙමි”යි කියන්නී ය.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">ජෙරුසලම් ජනයෙනි, වීදිවල ඔබමොබ දුව ගොස් බලන්න; ප්‍රසිද්ධ තැන්වල සොයා දැනගන්න. යුක්තිය කරන, සත්‍යය සොයන එක ද මිනිසෙක් වත් ඇද්දැ යි සොයා බලන්න. එවැන්නෙක් ඇත්නම්, සමිඳාණන් වහන්සේ ජෙරුසලමට කමා වනු ඇත.</verse>
				<verse number="2">ඔවුන්, ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරන නමුත්, ඇත්තෙන් ම ඔවුන් දිවුරන්නේ බොරුවට ය.</verse>
				<verse number="3">අහෝ සමිඳුනි, ඔබේ ඇස් සත්‍යය දෙස යොමු කරන සේක් ද? ඔබ ඔවුන්ට පහර දුන් සේක; එහෙත්, වේදනාව දැනුණේ නැත. ඔබ ඔවුන් තළා පෙළාදැමූ සේක. එහෙත්, ඔව්හු වැරදි නිවැරදි කරගත්තේ නැත. ඔව්හු තමන්ගේ සිත් පර්වතයකට වඩා දැඩි කරගෙන හැරී එන්නට අකමැති වූවෝ ය.</verse>
				<verse number="4">එවිට මම මෙසේ කීවෙමි: “සැබැවින් ම මොවුහු අඥානයෝ ය. සමිඳාණන් වහන්සේගේ මාර්ගය ද තමන්ගේ දෙවියන් වහන්සේගේ ආඥා ද නොදන්න බැවින් මොවුහු මෝඩ ලෙස හැසිරෙති.</verse>
				<verse number="5">මම උත්තමයන් වෙත ගොස් ඔවුන්ට කතා කරන්නෙමි. මන්ද, ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාර්ගය ද තමන්ගේ දෙවියන් වහන්සේගේ ආඥා ද දනිති.” එහෙත්, ඔව්හු සියල්ලෝ ම සමිඳාණන් වහන්සේගේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කර උන් වහන්සේට කීකරු වීමට අකමැති වූ හ.</verse>
				<verse number="6">මේ නිසා කැළෑවෙන් එන සිංහයෙක් ඔවුන් මරන්නේ ය; සැන්දෑ කාලයෙහි එන වෘකයෙක් ඔවුන් නාස්ති කරන්නේ ය; දිවියෙක් ඔවුන්ගේ නගර ළඟ රැක ඉන්නේ ය; එයින් පිටත යන සියල්ලෝ ඉරාදමනු ලබන්නෝ ය. මන්ද, ඔවුන්ගේ වැරදි බහුල වී ඇත; ඔවුන්ගේ මිසදිටුකම වැඩි වී ඇත.</verse>
				<verse number="7">සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මා නුඹට කමා වන්නේ කෙසේ ද? නුඹේ දරුවෝ මා අත්හැර, බොරු දෙවිවරුන්ගේ නමින් දිවුළෝ ය. මා ඔවුන්ට කන්නට දී තෘප්තියට පැමිණෙවූ පසුත් ඔව්හු කාමමිථ්‍යාචාරය කළෝ ය. ඔව්හු රංචු ගැසී වේශ්‍යාවන්ගේ ගෙවලට ඇතුළු වුණෝ ය.</verse>
				<verse number="8">ඔව්හු හොඳට පෝෂ්‍ය වී සිටින අශ්වයන් මෙන් එකිනෙකා තම තමාගේ අසල්වැසියාගේ භාර්යාවට හේෂාරව කළහ.</verse>
				<verse number="9">මේ කාරණා නිසා මම ඔවුන්ට දඬුවම් නොකර සිටිම් ද? මෙවැනි ජාතියකින් මම පළි නොගෙන සිටිම් ද? මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ය.</verse>
				<verse number="10">දේශය සහමුලින් ම විනාශ නොකර මිදි අතු කපා දමන්නට කියා ද අතු සමිඳාණන් වහන්සේට අයිති නැති නිසා ඒවා කපා දමන්නට කියා ද මම නියම කරමි.</verse>
				<verse number="11">ඉශ්රායෙල් වංශය හා ජුදා වංශය මට විරුද්ධ ව බොහෝ සේ ද්‍රෝහිකම් කර ඇත. මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.”</verse>
				<verse number="12">සෙනඟ සමිඳාණන් වහන්සේ ගැන බොරු කියා, “උන් වහන්සේ ක්‍රියා නොකර සිටින සේක; අප පිට කිසි විපතක් නොපැමිණෙයි; කඩුව වත්, සාගතය වත් දකින්නට අපට සිදු නොවෙයි;</verse>
				<verse number="13">දිවැසිවරු සුළඟ හා සමාන ය; දේව වචනය ඔවුන් තුළ නැතැ”යි පවසති.</verse>
				<verse number="14">ඔවුන්ට මෙසේ සිදු වනු ඇත. නුඹලා මෙසේ කියන බැවින් සියලු බලැති දෙවියන් වහන්සේ මට වදාරන වචන මෙසේ ය: “මාගේ වචන නුඹේ මුඛයෙහි ගින්නක් මෙන් ද සෙනඟ දර මෙන් ද කරන්නෙමි. එයින් ඔවුන් දැවී යනු ඇත.”</verse>
				<verse number="15">ඉශ්රායෙල් ජනයෙනි, සමිඳාණන් වහන්සේ ඔබට විරුද්ධ ව දුර සිට ජාතියක් ගෙනෙන සේක. ඔව්හු බලවත් පැරණි ජාතියක් ය. ඔව්හු ඔබ නොදන්න භාෂාවක් කතා කරති. ඔවුන් කියන දේ ඔබට තේරෙන්නේ නැත.</verse>
				<verse number="16">ඔවුන්ගේ ඊ කොපු ඇරී තිබෙන මිනීවළක් වැනි ය; ඔව්හු සියල්ලෝ ම වීරයෝ ය.</verse>
				<verse number="17">ඔවුන් ඔබේ පුත්‍රයන් ද දූවරුන් ද ඔබේ අස්වැන්න ද ඔබේ ආහාර ද කාදමනු ඇත; ඔබේ බැටළුවන් ද ගවයන් ද කාදමනු ඇත; ඔබේ මිදි වැල් ද අත්තික්කා ගස් ද කාදමනු ඇත. ඔබේ විශ්වාසය තබා ඇති ඔබේ බලකොටු නගර ඔවුන් කඩුවෙන් නටබුන් කරනු ඇත.</verse>
				<verse number="18">“එසේ වී නමුත් ඒ දවස්වල දී වුව ද සහමුලින් ම නුඹලා නැති කරන්නෙමි”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="19">තවද, “අපේ දෙවි සමිඳාණන් වහන්සේ මේ සියල්ල අපට කෙළේ මන්දැ”යි සෙනඟ අසන කල, “ ‘නුඹලා මා අත්හැර නුඹලාගේ දේශයේ දී විජාතීන්ගේ දෙවිවරුන්ට සේවය කළ ලෙස ම, නුඹලාට අයිති නැති දේශයක දී විජාතීන්ට නුඹලා සේවය කරන්නහු යැ’යි ඔවුන්ට කියන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.</verse>
				<verse number="20">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ජාකොබ්ගේ වංශයටත්, ජුදාහි සෙනඟටත් මෙසේ කියන්න:</verse>
				<verse number="21">මෝඩ, තේරුම් නැති, ඇස් තිබෙන නමුත් නොදකින, කන් තිබෙන නමුත් නොඅසන ජනයෙනි,</verse>
				<verse number="22">ස්වාමීන් වන මම මෙසේ අසමි: නුඹලා මට බිය වන්නේ නැද් ද? මා ඉදිරියේ වෙවුළන්නේ නැද් ද? මුහුදේ මායිමක් වශයෙන් මම වෙරළ තැබුවෙමි. එය වනාහි පසු කර නොයා හැකි ස්ථිර මායිමකි. රැළ ගසන නමුත්, ඒ මායිම ඉක්මවා යන්නට එයට නොහැකි ය. රැළ ඝෝෂා කරන නමුත්, එය පසු කර යන්නට එයට බැරි ය.</verse>
				<verse number="23">එහෙත් ජනයෙනි, මේ සෙනඟට මුරණ්ඩු කැරලිකාර සිතක් ඇත. සෙනඟ ඉවතට හැරී මා අත්හැර ගොස් ඇත.</verse>
				<verse number="24">‘සරත් කාලයේ දී ද වසන්ත කාලයේ දී ද නියම කලට වැසි දෙන, ගොයම් කැපීමට නියම සති අපට සලසා දෙන අපේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි බිය ඇති ව සිටිමු’යි මේ සෙනඟ වන නුඹලා තමන් සිත් තුළ නොකීවහු ය.</verse>
				<verse number="25">නුඹලාගේ අපරාධ නිසා ඒවා පහ ව ගියේ ය; නුඹලාගේ පාපය නිසා ශුභසිද්ධිය නුඹලාට නොලැබී ගියේ ය.</verse>
				<verse number="26">“මාගේ සෙනඟ අතරේ දුෂ්ටයෝ සිටිති. එබී, නැමී බලා සිටින පක්ෂි වැද්දන් මෙන් ඔව්හු රැක සිටිති. ඔව්හු මලපතක් තබා මිනිසුන් අසු කරගනිති.</verse>
				<verse number="27">පක්ෂීන්ගෙන් පිරී තිබෙන කූඩුවක් මෙන් ඔවුන්ගේ ගෙවල් කොල්ලකෑ දෙයින් පිරී තිබේ. ඒ නිසා ඔව්හු බලවත් වී, පොහොසත් වී සිටිති.</verse>
				<verse number="28">තරබාරු සතුන් මෙන් වී වසති. ඔවුන්ගේ දුෂ්ටකම්වලට ඉමක්කොනක් නැත. ඔව්හු අනාථයන්ගේ අයිතිවාසිකම් සාධාරණ ලෙස නොවිසඳා ඔවුන්ගේ සැහැසිකම් නොසලකා හරිති. දිළිඳුන්ට යුක්තිය ඉටු කර නොදෙති.</verse>
				<verse number="29">එහෙයින්, මේ කාරණා නිසා මම ඔවුන්ට දඬුවම් කරමි; මේ ජාතියෙන් මම පළිගන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="30">පුදුම, භයංකර සිද්ධියක් දේශයෙහි සිදු වී ඇත.</verse>
				<verse number="31">දිවැසිවරු සත්‍යය කතා නොකරති; පූජකයෝ සිය මතයෙන් ආණ්ඩු කරති; මාගේ සෙනඟ මේවාට ප්‍රිය කරති. එහෙත්, මේ සියල්ල අවසානයේ දී ඔව්හු කුමක් කරත් ද?”</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">“බෙන්ජමින් වංශයේ ජනයෙනි, ආරක්ෂාව පිණිස ජෙරුසලමෙන් පලා යන්න. තෙකෝවාහි හොරණෑ පිඹින්න; බෙත්හක්කෙරෙම් මත සලකුණක් නඟන්න. මන්ද, විපත්තියක් ද මහා විනාශයක් ද උතුරෙන් ළඟා වන ලකුණු ඇත.</verse>
				<verse number="2">ශෝභන, සිව්මැලි තැනැත්තියක වන සියොන් පුරඟන වනසනු ලබන්නී ය.</verse>
				<verse number="3">එඬේරු සිය පට්ටි රැගෙන ඈට විරුද්ධ ව පැමිණෙති. ඔව්හු ඈ වටලා, සිය කූඩාරම් පිහිටුවා, තමන් රිසි සේ නිල් තණ කවන්නෝ ය.</verse>
				<verse number="4">තවද, ඔවුන් කතා කොට, ‘ජෙරුසලමට විරුද්ධ ව සටනට සැරසෙන්න; නැඟිටින්න, ඉර මුදුන් වේලාවේ දී අපි පහර දෙමු’යි කියනු ඇත. එසේ වුව ද, ‘දැන් කල් වේලා ගත වී ඇත; දවාල පහ වී සවස සෙවණැලි වැටීගෙන එයි;</verse>
				<verse number="5">සැරසෙන්න, අද රෑ අපි පහර දී ජෙරුසලම් වාසල් බිඳලමු’යි ඔව්හු කියති.</verse>
				<verse number="6">“සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. ජෙරුසලම වටලන පිණිස ගස් කපාගෙන බලකොටු සාදාගන්න. දඬුවම ලැබිය යුතු නගරය මෙය වේ. තාඩන පීඩන හැර අන් කිසිවක් එහි නැත.</verse>
				<verse number="7">ළිඳකින් වතුර උනන සේ ජෙරුසලමෙන් නපුරුකම උනන්නේ ය. තාඩන පීඩන ගැන ආරංචි ඇසෙන්නේ ය; රෝගත්, තුවාළත් මට නිතර ම දක්නට ලැබේ.</verse>
				<verse number="8">එම්බා ජෙරුසලම! මා නුඹෙන් වෙන් වී නොයන පිණිසත්, මා විසින් නුඹ පාළු, වැසියන් නැති දේශයක් කරනු නොලබන පිණිසත් මේ අනතුරු ඇඟවීම සිතට ගන්න.”</verse>
				<verse number="9">සියලු බලැති සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාරන සේක: “කිසිත් ඉතිරි නොවන ලෙස ගොවියෙකු අතු සූරා මිදි පල එකතු කරන සේ, ඉශ්රායෙල්හි කිසිවක් ඉතිරි නොවන පරිදි ඔව්හු රැස් කරගනිති.”</verse>
				<verse number="10">මම මෙසේ පිළිතුරු දිනිමි: “සවන් දෙන හැටියට මම කාට කතා කර අවවාද කරම් ද? ඔවුන් මුරණ්ඩු වී ඔවුන්ගේ කන් වසාගෙන ඇති බැවින් සවන් දෙන්නට ඔවුන්ට බැරි ය. සමිඳාණන් වහන්සේගේ වචනය ඔවුන්ට නින්දාවක් වී ඇත. ඔව්හු එයට ප්‍රිය නොවෙති.</verse>
				<verse number="11">ඒ නිසා සමිඳුනි, මම ඔබේ කෝපයෙන් පිරී සිටිමි. එයින් මම වෙහෙසට පත් වී සිටිමි.” එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “වීදිවල සිටින ළමයින් පිටත්, තරුණයන්ගේ රැස්වීම් පිටත් මාගේ කෝපය වගුරන්න. පුරුෂයා භාර්යාව සමඟ ද මහලු අය ඉතා වයස්ගත අය සමඟ ද ගෙනයනු ලබන්නෝ ය.</verse>
				<verse number="12">ඔවුන්ගේ ගෙවල් ද වතුපිටි ද භාර්යාවන් ද අන්‍යයන්ට අයිති වනු ඇත. මේ දේශයේ සිටින සෙනඟට මම දඬුවම් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="13">ඔවුන්ගෙන් කුඩා අය සිට ලොකු අය දක්වා සියල්ලෝ ම අයුතු ලාභ උපයා ගනිති: දිවැසිවරයා පටන් පූජකයා දක්වා සියල්ලෝ ම වංචාකම් කරති.</verse>
				<verse number="14">තුවාළයකට මතුපිටින් පිළියම් කරන සේ සාමය නැති විට පවා ඔව්හු, ‘සාමය, සාමය’ කියමින් මාගේ සෙනඟ සනසති.</verse>
				<verse number="15">ඔවුන් කළ පිළිකුල් දේ ගැන ඔව්හු ලජ්ජා වූවෝ ද? නැත. ඔවුන්ට කොහෙත් ම ලජ්ජාවක් හෝ නින්දාවක් හෝ දැනුණේ වත් නැත. එබැවින්, වැටෙන්නන් අතරේ ඔවුන් වැටෙනු ඇත. මා ඔවුන්ට දඬුවම් කරන කාලයෙහි ඔව්හු නැත්තට ම නැති වන්නෝ ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
				<verse number="16">සමිඳාණන් වහන්සේ සිය සෙනඟට මෙසේ වදාරන සේක: “මං සන්ධිවල සිට බලා, පුරාණ මාර්ග මොනවා දැ යි ද යහපත් මාර්ගය කුමක් දැ යි ද අසා ඒ මඟ ඇවිදින්න; එවිට නුඹලාට සහනය ලැබෙන්නේ ය.”</verse>
				<verse number="17">මම ඔවුන් වෙත මුරකරුවන් සිටුවා, “හොරණෑ ශබ්දයට සවන් දෙන්නැ”යි කීවෙමි. එහෙත්, ඔව්හු, “අපි සවන් නොදෙන්නෙමු”යි කී හ.</verse>
				<verse number="18">එබැවින් සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ජාතීනි, සවන් දී මාගේ සෙනඟට සිදු වන්නට යන දේ ගැන දැනගන්න.</verse>
				<verse number="19">එම්බා පොළොව! සවන් දෙන්න. මේ සෙනඟ මාගේ වචනවලට කීකරු නොවී, මාගේ ආඥා ප්‍රතික්ෂේප කළ නිසා, ඔවුන්ගේ උපායවලට නියම විපාකය වන විපත්තිය ඔවුන් පිට පමුණුවන්නෙමි.</verse>
				<verse number="20">ෂෙබායෙන් කට්ටකුමංජල් ද දුර දේශයකින් හඳුන්කූරු ද මට ගෙනෙන්නේ කුමට ද? නුඹලාගේ දවන යාග පූජා මට ප්‍රසන්න නැත. නුඹලාගේ යාග ද මට ප්‍රිය නැත.</verse>
				<verse number="21">එබැවින් නුඹලාගේ ස්වාමීන් වන මම, මේ සෙනඟ පැකිළී වැටෙන්නට සලස්වන බාධා පමුණුවන්නෙමි. පියවරුන් ද පුත්‍රයන් ද අසල්වැසියන් හා ඔවුන්ගේ මිතුරන් ද විනාශ වී යනු ඇත.”</verse>
				<verse number="22">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “අන්න, උතුරු දේශයෙන් සෙනඟක් එති; මහා බලවත් ජාතියක් ද පොළොවේ ඉතා දුර තැන්වලින් නැඟිට එනු ඇත.</verse>
				<verse number="23">ඔව්හු දුනු හා හෙල්ල දරති; ඔව්හු කෲර ය, නිර්දය වෙති. ඔවුන්ගේ හඬ සමුද්‍ර ඝෝෂාව වැනි ය. එම්බා සියොන් පුරඟන, නුඹට විරුද්ධ ව යුද්ධ කරන්නට ඔව්හු සියලුදෙන එක් කෙනෙකු මෙන් පේළි ගැසී අශ්වයන් පිට නැඟී එති.”</verse>
				<verse number="24">ජෙරුසලම් වැසියෝ මෙසේ කියති: “ඒ පුවත අප අසා ඇත; අපේ අත් දුර්වල වී තිබේ; ස්ත්‍රියට ඇති වන විළිරුජාව සේ දුක් වේදනාව අප පිට පැමිණ ඇත.</verse>
				<verse number="25">එළිමහනට නොයන්න; වීදිවල නොඇවිදින්න; කඩු ගත් සතුරන් හැම අතින් ම යන එන බැවින් භයානක ය.”</verse>
				<verse number="26">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මාගේ සෙනඟෙනි, ගෝණි රෙදි හැඳගෙන, අළුවල පෙරළි පෙරළී, මියගිය එක ම පුතෙකු උදෙසා මෙන් ඉතා දුක් බර ව වැලපෙන්න. මන්ද, විනාශ කරන්නා හදිසියෙන් නුඹට පහර දෙන්නේ ය.</verse>
				<verse number="27">ජෙරමියා, නුඹ මාගේ සෙනඟගේ මාර්ගය දැනගන්න පිණිසත්, ඔවුන් අතරේ ඔවුන් පරීක්ෂා කර බලන පිණිසත් පරීක්ෂකයෙකු කොට මම නුඹ පත් කෙළෙමි.</verse>
				<verse number="28">ඔව්හු සියල්ලෝ ම මුරණ්ඩු කැරලිකාරයෝ ය. කේළාම් කියමින් ඇවිදින්නෝ ය. ඔව්හු ලෝකඩ හා යකඩ මෙන් දැඩි ව සිටිති; ඔව්හු දූෂ්‍යකම් කරති.</verse>
				<verse number="29">උදුන තද ගින්නෙන් ඇවිලීමෙන් වානේ උණු වේ. එහෙත්, ගින්නෙන් කොතරම් පිරිසිදු කළත් දුෂ්ටයෝ පිරිසිදු නොවෙති.</verse>
				<verse number="30">ස්වාමීන් වන මා එපා කළ නිසා, ‘වෙට්ට රිදී ය’යි ඔව්හු කියනු ලබන්නෝ ය.”</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">සමිඳාණන් වහන්සේගෙන් ජෙරමියා වෙත පැමිණි පණිවුඩය මෙය ය:</verse>
				<verse number="2">“නුඹ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරටුව ළඟ සිට, මෙසේ ප්‍රකාශ කරන්න: සමිඳාණන් වහන්සේට නමස්කාර කරන්නට මේ දොරටුවලින් ඇතුළු වන ජුදාහි සියල්ලෙනි, සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න.</verse>
				<verse number="3">ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ තවදුරටත් මෙසේ වදාරන සේක: නුඹලාගේ කල්ක්‍රියාව සහ නුඹලා කරන දේ හරිගස්සාගන්න. එවිට මම නුඹලාට මේ ස්ථානයෙහි වාසය කරන්නට ඉඩ සලසන්නෙමි.</verse>
				<verse number="4">‘මෙය සමිඳාණන් වහන්සේගේ මාලිගාව ය, සමිඳාණන් වහන්සේගේ මාලිගාව ය, සමිඳාණන් වහන්සේගේ මාලිගාව ය’යි කියන රැවටිලි වචන විශ්වාස නොකරන්න.</verse>
				<verse number="5">“නුඹලාගේ ම කල්ක්‍රියා ද නුඹලා කරන කියන දේ ද සැබැවින් ම හරිගස්සාගන්න. එකිනෙකා සම්බන්ධයෙන් සාධාරණ ලෙස ක්‍රියා කරන්න.</verse>
				<verse number="6">විදේශිකයාට ද අනාථයාට ද වැන්දඹුවට ද පීඩා නොකරන්න. මේ ශුද්ධස්ථානයේ නිදොස් ලේ නොවගුරන්න. අන් දෙවිවරුන්ට නමස්කාර කිරීම නුඹලාට අන්තරායදායක බැවින් එසේ නොකරන්න.</verse>
				<verse number="7">එවිට නුඹලාගේ පියවරුන්ට ආදියේ සිට සදාකාලයට ම මා දුන් මේ දේශයේ, මේ ස්ථානයේ, වාසය කිරීමට මම නුඹලාට ඉඩ දෙමි.</verse>
				<verse number="8">“බලන්න, නුඹලා වැඩකට නැති රැවටිලි වචන විශ්වාස කර ඇත.</verse>
				<verse number="9">නුඹලා සොරකම් කර, මිනීමරා, කාමමිථ්‍යාචාරය කර, බොරුවට දිවුරා, බාල් දෙවියන්ට සුවඳ දුම් ඔප්පු කර, නුඹලා නොදන්න අන්‍ය දෙවිවරුන් පස්සේ ගියහු ය.</verse>
				<verse number="10">ඉන්පසු නුඹලා අවුත්, මාගේ නාමය දරන මේ මාලිගාවේ දී මා ඉදිරියේ සිට, ‘අපි ගැළවී සිටිමු’යි කියන්නේ, මේ සියලු පිළිකුල්කම් කරගෙන යන පිණිස ද?</verse>
				<verse number="11">මාගේ නාමය දරන මේ මාලිගාව සොරුන්ගේ ගුහාවකැ යි නුඹලා සිතන්නහු ද? නුඹලා කරන දේ සැබැවින් ම මට පෙනේ. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.</verse>
				<verse number="12">මා නමස්කාරය ලබන පිණිස මා මුලින් ම තෝරාගත් ස්ථානය වන ෂිලෝවට ගොස්, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ දුෂ්ටකම නිසා මා ඊට කළ දේ බලන්න.</verse>
				<verse number="13">මා සඳහන් කළ සියලු පව් නුඹලා කර ඇත. මා නුඹලාට නැවත නැවත ඕනෑකමින් කතා කළ නමුත්, නුඹලා මට සවන් නොදුන්නහු ය. මා නුඹලාට අඬගැසූ නමුත්, නුඹලා මට පිළිතුරු නුදුන්නහු ය.</verse>
				<verse number="14">ඒ නිසා මාගේ නාමය දරන, නුඹලාගේ විශ්වාසය තබා ඇති මේ මාලිගාවටත්, මා නුඹලාට හා නුඹලාගේ පියවරුන්ට දුන් මේ ස්ථානයටත් ෂිලෝවට කළ දේ මම කරන්නෙමි.</verse>
				<verse number="15">මා නුඹලාගේ සහෝදරයන් වන මුළු එප්‍රායිම් වංශය නෙරපාදැමූ පරිදි නුඹලාත් මා ඉදිරියෙන් මම නෙරපා දමන්නෙමි.”</verse>
				<verse number="16">“ජෙරමියා, නුඹ මේ සෙනඟ උදෙසා යාච්ඤා නොකරන්න. ඔවුන් උදෙසා මොරනොගසන්න. යාච්ඤා නොකරන්න. මා නුඹේ බසට සවන් නොදෙන බැවින් මට කන්නලව් නොකරන්න.</verse>
				<verse number="17">ජුදාහි නගරවලත්, ජෙරුසලමේ වීදිවලත් ඔවුන් කරන දේ නුඹට පෙනෙනවා නොවේ ද?</verse>
				<verse number="18">මා කෝප කරවන ලෙස අහස් දේවියට රස කැවිලි සෑදීමටත්, අන් දෙවිවරුන්ට පානීය පූජා පුද කිරීමටත්, දරුවෝ දර එකතු කරති; පියවරු ගිනි මොළවති; ස්ත්‍රීහු පිටි අනති.</verse>
				<verse number="19">එහෙත්, සැබෑවට ම ඔවුන් කෝප කරවන්නේ මා ද? නැත; ඔවුන් එසේ කරගන්නේ ඔවුන්ට ම ය. තමන් පිට ම ඔව්හු ලජ්ජාව පමුණුවාගන්නෝ ය.</verse>
				<verse number="20">ඒ නිසා මහෝත්තම දෙවි ස්වාමීන් වන මම මේ ස්ථානය පිට මාගේ කෝපය හා උදහස වගුරුවන්නෙමි. මිනිසුන් පිට මෙන් ම, මෘගයන්, කෙතේ ගස් සහ භූමියේ පල කෙරෙහි ද මම එය වගුරුවමි. මාගේ කෝපය නොනිවෙන ගින්නක් වැනි ය.</verse>
				<verse number="21">“මාගේ සෙනඟෙනි, ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් වන සියලු බලැති ස්වාමීන් වන මම නුඹලාට මෙසේ වදාරමි: නුඹලාගේ පූජාවලට නුඹලාගේ දවන යාග පූජාත් එක් කොට ඒවායේ මස් මාංස අනුභව කරන්න.</verse>
				<verse number="22">මා නුඹලාගේ පියවරුන් මිසර දේශයෙන් පිටතට ගෙනා කාලයේ දී දවන යාග පූජා ගැන වත්, යාග ගැන වත් මම ඔවුන්ට කතා නොකෙළෙමි; අණ නොකෙළෙමි.</verse>
				<verse number="23">එහෙත්, මා ඔවුන්ට අණ කෙළේ, ‘මාගේ හඬට කීකරු වන්න, එවිට මම නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. නුඹලා ද මාගේ සෙනඟ වන්නහු ය; නුඹලාට ශුභසිද්ධ වන පිණිස මා නුඹලාට අණ කරන මාර්ගය අනුව හැසිරෙන්න, කියා ය.</verse>
				<verse number="24">එහෙත්, ඔව්හු සවන් දෙන්නේ වත්, කීකරු වන්නේ වත් නැති ව, හිතුමතේ ද මුරණ්ඩු සිත්වල දුෂ්ට අදහස් අනුව ද හැසිරෙමින් ඉදිරියට යෑම වෙනුවට පසුබැස ගියහ.</verse>
				<verse number="25">නුඹලාගේ පියවරුන් මිසර දේශයෙන් පිටත් ව පැමිණි දා සිට අද දක්වා, නොකඩවා මම මාගේ සේවකයන් වූ දිවැසිවරුන් ඔවුන් වෙත එවීමි.</verse>
				<verse number="26">එහෙත්, ඔවුන් සවන් දුන්නේ වත්, කන් යොමු කෙළේ වත් නැත. ඒ වෙනුවට ඔව්හු මුරණ්ඩු වී ඔවුන්ගේ පියවරුන්ටත් වඩා නපුරුකම් කළෝ ය.</verse>
				<verse number="27">‘ජෙරමියා, නුඹ මේ සියලු වචන ඔවුන්ට කතා කර කියන නමුත්, ඔව්හු නුඹලාට සවන් නොදෙන්නෝ ය. නුඹ ඔවුන්ට අඬගසන නමුත්, ඔව්හු නුඹට උත්තර නොදෙන්නෝ ය.</verse>
				<verse number="28">එබැවින් ඔව්හු තමන්ගේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට කන් නුදුන්, දැනුමැතිකම නොපිළිගත් ජාතියකි; සත්‍යය ඔවුන් තුළ නැත. ඒ සියල්ල ම ඔවුන්ගේ මුඛයෙන් අතුරුදහන් වී ඇතැ’යි කියන්න.”</verse>
				<verse number="29">“ජෙරුසලම් ජනයෙනි, නුඹලාගේ හිසකෙස් කපා ඉවත දමා, පාළු කඳු උඩ විලාපයක් නඟන්න. මන්ද, ස්වාමීන් වන මම, මාගේ කෝපයට ලක් වූ මේ පරම්පරාව ප්‍රතික්ෂේප කර අත්හළෙමි.</verse>
				<verse number="30">ජුදාවේ සෙනඟ මාගේ ඇස් හමුයෙහි නපුරු දේ කර ඇත. ඔවුන් මාගේ නාමය දරන මාලිගාවේ මා පිළිකුල් කරන ඔවුන්ගේ දේව රූප තබා එය දූෂ්‍ය කර ඇත. මෙසේ කියන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="31">ඔවුන් තමන්ගේ දරුදැරියන් හින්නොම් දෙවියාට පූජා කරන පිණිස, බෙන්-හින්නොම් මිටියාවතේ තෝපෙත්හි ගිරිකුළු දේවාලයක් ගොඩනඟා ඇත. එසේ කරන්නට මා ඔවුන්ට අණ කෙළේ නැත; ඒ ගැන මා සිතුවේ වත් නැත.</verse>
				<verse number="32">ඒ නිසා, එයට තෝපෙත් කියා වත්, බෙන්-හින්නොම් මිටියාවත කියා වත් නොකියන කාලය පැමිණෙන්නේ ය. එයට ‘ඝාතනයේ මිටියාවත ය’යි කියනු ලැබේ. මන්ද, වළලන්නට ඉඩ නැති වන තරම් තෝපෙත්හි මිනී වළලනු ලබන බැවිනි.</verse>
				<verse number="33">මේ සෙනඟගේ මළකඳන් අහසේ පක්ෂීන්ටත්, පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේ ය. උන් එළවාදමන්නට කිසිවෙක් නොසිටිති.</verse>
				<verse number="34">එවිට මම ජුදා නගරවලිනුත්, ජෙරුසලමේ වීදිවලිනුත් ප්‍රීති ප්‍රමෝද හඬ ද මනාල මනාලියන්ගේ කටහඬ ද නතර කරන්නෙමි. දේශය පාළුකරයක් වන්නේ ය.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">“ඒ කාලයේ දී ජුදා රජවරුන්ගේත්, අධිපතීන්ගේත්, පූජකයන්ගේත්, දිවැසිවරුන්ගේත්, ජෙරුසලම් වැසියන්ගේත් ඇටකටු සොහොන් ගෙවලින් එළියට ගෙනෙනු ලබන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="2">ඒ ඇටකටු, ඒ අය ප්‍රේම කොට සේවය කළ, පසුපස ගොස් පේන අසා නමස්කාර කළ, ඉරත් සඳත් අහසේ සෙසු ආකාශ වස්තුත් ඉදිරියේ අතුරා තබනු ඇත. ඒවා එකතු කොට වළලනු වෙනුවට, පොළොව මතුපිට කසළ වන්නේ ය.</verse>
				<verse number="3">මේ නපුරු පරම්පරාවෙන් ඉතිරි වන මා විසින් විසුරුවා හරින ලද තැන්වල ඉතිරි ව සිටින අය, ජීවත් වීමට වඩා මැරෙන්නට කැමැති වනු ඇත. මෙසේ පවසන්නේ සියලු බලැති ස්වාමීන් වන මම ය.”</verse>
				<verse number="4">සෙනඟට කියන ලෙස සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “වැටෙන අය නැඟිටින්නේ නැද් ද? නොමඟ ගිය අය හැරී එන්නේ නැද් ද?</verse>
				<verse number="5">එසේ නම් ජෙරුසලම් ජනයෙනි, නුඹලා මා කෙරෙන් ඉවත් ව ගියේ මන් ද? නිරන්තරයෙන් ම ඉවත් ව යන්නේ මන් ද? මායාවට වසඟ වී; ‘අප ආපසු හැරී එන්නේ නැතැ’යි නුඹලා කියන්නහු ය.</verse>
				<verse number="6">මම සාවධාන ව සවන් දිනිමි. එහෙත්, නුඹලා සැබෑව කතා නොකළහු ය. ‘මා කෙළේ කුමක් ද’ කියා අසමින්, තමාගේ දුෂ්ටකම ගැන පසුතැවිලි වන කිසිවෙක් මෙහි නැත. අශ්වයා යුද්ධයට වේගයෙන් දුවන සේ ඔව්හු සියල්ලෝ ම තමන් රිසි මඟට හැරී දුවති.</verse>
				<verse number="7">අහසේ ඉගිලෙන මානකොකා ඔබමොබ යනෙන කාලය දනියි; කොබෙයියා ද වැහිලිහිණියා ද කොකා ද ආපසු පැමිණීමේ කාලය දැන සිටිති. එහෙත් මාගේ සෙනඟ, නුඹලා මාගේ අණපණත් නොදන්නහු ය.</verse>
				<verse number="8">‘අපි ප්‍රඥාවන්තයෝ ය; සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව අප වෙත ඇත්තේ ය’යි නුඹලා කියන්නේ කොහොම ද? බලන්න, වංක විනයධරයන් ව්‍යවස්ථාව බොරු කර ඇත.</verse>
				<verse number="9">නුඹලාගේ ප්‍රඥාවන්තයෝ ලජ්ජාවට පැමිණ අසු වී කැළඹී සිටිති. ඔව්හු මාගේ වචන එපා කළෝ ය. ඔවුන් තුළ ඇති ප්‍රඥාව කුමක් ද?</verse>
				<verse number="10">එබැවින් ඔවුන්ගේ භාර්යාවන් අන්‍යයන්ට ද ඔවුන්ගේ කෙත් ඒවා අල්ලාගන්න අයට ද දෙන්නෙමි. මන්ද, ලොකු කුඩා අය සැවොම අයුතු ලාභ ගැනීමට කෑදර වෙති; දිවැසිවරුන් පටන් පූජකයන් දක්වා සියල්ලෝ ම වංචාකම් කරති.</verse>
				<verse number="11">සාමය නැති විටත්, ‘සාමය, සාමය’ කියමින් ඔව්හු මාගේ සෙනඟගේ තුවාළයට මතුපිටින් පිළියම් කරති.</verse>
				<verse number="12">මාගේ සෙනඟෙනි, මා පිළිකුල් කරන දේ නුඹලා කළ නිසා ලජ්ජා වූවහු ද? නැත. නුඹලා කොහෙත් ම ලජ්ජා වුණේ වත්, නුඹලාට නින්දාව දැනුණේ වත් නැත. ඒ නිසා, නුඹලා වැටෙන්නන් අතරෙහි වැටෙනු ඇත; නුඹලාට දඬුවම් පැමිණෙන කාලයේ දී නුඹලා පැකිළ වැටෙනු ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="13">“මිදි වැලේ මිදි පල නැති, අත්තික්කා ගසේ ගෙඩි නැති, කොළ පවා වියළී ඇති, ඔවුන්ට දුන් දේ පහ ව ගොස් ඇති සමයේ මම ඔවුන් රැස් කරන්නෙමි.”</verse>
				<verse number="14">සෙනඟ මෙසේ අසති. “අපි කුමට නිකම් හිඳිමු ද? අපි එක්රැස් වී, පවුරු ඇති නගරවලට වැද එහි මැරෙමු. අප සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ නිසා, අපේ දෙවි ස්වාමීන් වහන්සේ අප විනාශයට පත් කොට, අපට බීමට වස දිය දී ඇත.</verse>
				<verse number="15">අපි සාමය පැතුවෙමු; එහෙත්, එයින් කිසි වැඩක් නො වී ය. සුව වීමේ කාලයක් ගැන බලා සිටියෙමු. එහෙත්, පැමිණ ඇත්තේ භීතිය පමණි.</verse>
				<verse number="16">දාන්හි සිට අප සතුරන්ගේ අශ්වයන්ගේ හූංකාරය අපට ඇසුණේ ය; උන්ගේ හේෂාරවයට මුළු දේශය වෙවුළයි. ඔවුන් ඇවිත් සිටින්නේ දේශය සහ එහි තිබෙන සියල්ල ද නගර සහ එහි වසන වැසියන් ද විනාශ කරන පිණිස ය.”</verse>
				<verse number="17">සමිඳාණන් වහන්සේ කතා කොට, “මෙන්න, මම කිසි මන්ත්‍රයකට වශී නොවන සර්පයන් ද පොළඟුන් ද නුඹලා අතරට එවන්නෙමි, උන් නුඹලාට දෂ්ට කරනු ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="18">අහෝ! මාගේ දුක සංසිඳුවන්නට බැරි තරම් ය; මාගේ සිත කම්පා වී ඇත.</verse>
				<verse number="19">සවන් දෙන්න, දේශය මුළුල්ලේ මාගේ සෙනඟ මොරගසමින්, “සමිඳාණන් වහන්සේ සියොන්හි නැද් ද? සියොන්හි රජතුමා එහි නැද්දැ”යි අසන හඬ දස දෙසින් මට ඇසේ. ඔවුන්ගේ රජ්ජුරුවන් වන සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “නුඹලා තමන් කැපූ පිළිමවලින් ද විදේශිකයන්ගේ නිෂ්ඵල රූපවලින් ද කුමට මා කෝප කළහු දැ”යි අසන සේක.</verse>
				<verse number="20">සෙනඟ පිළිතුරු දෙමින්, “අස්වැන්න නෙළන කාලය පසු විය; ග්‍රීෂ්ම කාලය කෙළවර විය; එහෙත්, අපට ගැළවීම ලැබී නැතැ”යි කියන්නෝ ය.</verse>
				<verse number="21">“මාගේ සෙනඟගේ තුවාළය නිසා මම තුවාළ ලැබ ශෝකයට පත් ව සිටිමි. මම අන්ත වියවුල්කමට ලක් වී සිටිමි.</verse>
				<verse number="22">ගිලියද්හි ගුගුල් නැද් ද? එහි වෙදෙක් නැද් ද? මාගේ සෙනඟ සුවය ලබා නැත්තේ මන්දැ”යි සමිඳාණන් වහන්සේ අසන සේක.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">අහෝ! මැරුම් කෑ මාගේ සෙනඟ ගැන දිවා රෑ දෙක්හි හැඬීමට මාගේ හිස පොකුණක් ද මාගේ ඇස් කඳුළු උල්පතක් ද වූවොත් මම කැමැති ය.</verse>
				<verse number="2">අහෝ! මාගේ සෙනඟ අත්හැර මා ඔවුන්ගෙන් ඈත් වී සිටින්නට මට පාළුකරයෙහි වාසස්ථානයක් ඇත්නම්! මාගේ සෙනඟ කාමමිථ්‍යාචාරිකයෝ ය; ද්‍රෝහිකාර පිරිසක් ය.</verse>
				<verse number="3">සත්‍යය වෙනුවට, දේශය පුරා වේගයෙන් පැතිර යන බොරුවට ඔවුන්ගේ දිව් දුන්නක් මෙන් නැමී යයි. සමිඳාණන් වහන්සේ කතා කොට, “ඔව්හු නපුර පිට නපුර කර මා නොහඳුනති”යි වදාරන සේක.</verse>
				<verse number="4">ඔබ එකිනෙකා තම තමාගේ අසල්වැසියාගෙන් ප්‍රවේසම් වන්න; කිසි සහෝදරයෙකු ද විශ්වාස නොකරන්න. මන්ද, හැම සහෝදරයෙක් ම ප්‍රයෝගකාරයෙකි; හැම අසල්වැසියෙකු ම කේළාම් කියමින් ඇවිදිනු ඇත.</verse>
				<verse number="5">ඔවුන් එකිනෙකා තම තමාගේ අසල්වැසියා රවටනු ඇත. කිසිවෙක් ඇත්ත කතා නොකරති. බොරු කීමට ඔව්හු පුරුදු වී සිටිති; ඔව්හු අපරාධ කරති. එහෙත්, පසුතැවී සිත් හරවා ගැනීමට නොවෙහෙසෙති.</verse>
				<verse number="6">ඔව්හු අපරාධය පිට අපරාධය ද වංචාව පිට වංචාව ද කරති. “මාගේ සෙනඟ මා නොපිළිගනිති”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="7">මේ නිසා සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම ඔවුන් ලෝහ මෙන් උණු කර, පිරිසිදු කර පරීක්ෂා කර බලන්නෙමි. මාගේ සෙනඟ සම්බන්ධයෙන් මම වෙන කුමක් කරම් ද?</verse>
				<verse number="8">ඔවුන්ගේ දිව් මාරක ඊගස් වැනි ය. ඒවා කියන්නේ බොරු ම ය. ඔවුන්ගේ මුව අසල්වැසියාට සාමයෙන් කතා කරන නමුත්, තමන්ගේ සිත් තුළ සතුරු උපායයන් යොදයි.</verse>
				<verse number="9">මේ කරුණු නිසා ඔවුන්ට දඬුවම් නොකර මට සිටිය හැකි ද? මෙවැනි ජාතියකින් පළි නොගෙන මට, සිටිය හැකි ද? මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
				<verse number="10">ජෙරමියා මෙසේ කී ය: “කඳු ගැන ඇඬීමක් ද විලාපයක් ද පාළුකරයේ තණ බිම් ගැන ළතෝනියක් ද ගයන්නෙමි. කිසිවෙකුට එහි ගමන් කළ නොහැකි වන ලෙස ඒවා වියළී ගොස් ඇත. එහි සිවුපාවුන්ගේ හඬ නෑසෙන්නේ ය. අහසේ පක්ෂීන් ද මෘගයන් ද පලා ගොස් ඇත.”</verse>
				<verse number="11">සමිඳාණන් වහන්සේ කතා කොට, “මම ජෙරුසලම නටබුන් ගොඩක් ද සිවලුන්ගේ වාසයක් ද කරන්නෙමි; කිසිවෙකුට වාසය නොකළ හැකි ලෙස මම ජුදාහි නගර පාළු කරන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="12">ජෙරමියා කතා කරමින්, “ස්වාමීනි, දේශය නටබුන් ගොඩක් වී තිබෙන්නේත්, කිසිවෙකුට ඒ මැදින් ගමන් නොකළ හැකි ලෙස කාන්තාරයක් මෙන් පාළු වී ගොස් ඇත්තේත් මන් ද? මෙය තේරුම්ගන්නට පුළුවන් ප්‍රඥාවන්තයා කවරෙක් ද? අනුන්ට එය කියන්නට පුළුවන් වන පිණිස ඔබ වහන්සේ එය ප්‍රකාශ කෙළේ කාට දැ”යි ඇසුවේ ය.</verse>
				<verse number="13">සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක: “මෙය සිදු වූයේ, මා ඔවුන්ට දුන් මාගේ ආඥාව ඔවුන් ප්‍රතික්ෂේප කර මාගේ හඬට කීකරු නොවූ නිසාත්,</verse>
				<verse number="14">ඒ අනුව නොහැසිර මුරණ්ඩුකමින් තමන්ගේ හිතුමතය අනුව ගමන් කළ නිසාත්, ඔවුන්ගේ පියවරුන් ඔවුන්ට ඉගැන්වූ ලෙස බාල් දෙවියන් පසුපස්සේ ගිය නිසාත් ය.</verse>
				<verse number="15">එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් වන, සියලු බලැති ස්වාමීන් වන මම මෙසේ පවසමි. මම මේ සෙනඟට කොසඹ පල කවන්නෙමි; විස දිය පොවන්නෙමි.</verse>
				<verse number="16">ඔවුන් වත්, ඔවුන්ගේ පියවරුන් වත් දැන නොගත් ජාතීන් අතරට ඔවුන් විසුරුවා හැර, ඔවුන් සහමුලින් ම නැති කරදමන තුරු මම ඔවුන් පසුපස්සේ යුද්ධ සේනා යවමි.”</verse>
				<verse number="17">“නුඹලා කල්පනා කොට අවමඟුල් ගී ගයන්න දක්ෂ, විලාප කියන ස්ත්‍රීන්ට එන්න කියා යවන්නැ”යි සියලු බලැති දෙවියන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="18">සෙනඟ පිළිතුරු දෙමින්, “අපේ ඇස්වලින් කඳුළු වැගිරෙන පිණිසත්, ඇසිපියවලින් වතුර ගලන පිණිසත් අප ගැන ළතෝනියක් පවත්වන ලෙස ඔවුන්ට කියන්නැ”යි කියති.</verse>
				<verse number="19">මන්ද, “අපි විනාශ වුණෙමු; අප දේශය අත්හැර ගිය නිසා ද ඔවුන් අපේ වාසස්ථාන හෙළාදැමූ නිසා ද අපි නින්දාවට පත් ව සිටිමු” යන ළතෝනිය සියොන් කෙරෙන් ඇසුණේ ය.</verse>
				<verse number="20">ජෙරමියා මෙසේ කී ය: “ස්ත්‍රීවරුනි, සමිඳාණන් වහන්සේගේ බසට සවන් දී උන් වහන්සේගේ වචන සිතට ගෙන, නුඹලාගේ දූවරුන්ට ළතෝනි කීමත්, එකිනෙකාට තම තමාගේ අසල්වැසි ස්ත්‍රියට විලාප කීමත් උගන්වන්න.</verse>
				<verse number="21">මන්ද, වීදිවල ළමයින් ද කඩ මණ්ඩිවල තරුණයන් ද වනසමින් මරුවා අපේ ජනේල සමීපයට ද නිවාසවලට ද ඇතුළු වී ඇත.</verse>
				<verse number="22">මළසිරුරු පොහොර ගොඩවල් මෙන් ද ගොයම් කපන්නන් ඉතිරි කර ගිය ගොයම් මිටි මෙන් ද විසුරුවනු ලබන විට කිසිවෙකු ඒවා එකතු කරන්නේ නැත. සමිඳාණන් වහන්සේ මට ප්‍රකාශ කරන්නට කී දේ මේ ය.”</verse>
				<verse number="23">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නැණවතා තමාගේ නුවණ ගැන වත්, බලවතා තමාගේ බලය ගැන වත්, ධනවතා තමාගේ ධනය ගැන වත් පාරට්ටු කර නොගනී වා!</verse>
				<verse number="24">
					පාරට්ටු කරගන්නට යමෙක් කැමැති නම්, ඔහු, මා දැනහැඳිනීම ගැන පාරට්ටු කරගනී වා.
					මන්ද, පොළොව කරුණාවෙන් ද යුක්තියෙන් ද දමිටුකමෙන් ද පාලනය කරන සමිඳාණන් වහන්සේ මා බව ඔව්හු දැනගනිත් වා! මන්ද, මා ප්‍රිය කරන දේ මේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
				</verse>
				<verse number="25">“ගතෙහි චර්මඡේදනය කරනු ලැබූ නමුත්, සිතෙහි පාප මල ඡේදනය නොකර සිටින සියලු දෙනාට මා දඬුවම් කරන කාලය පැමිණෙන්නේ ය.</verse>
				<verse number="26">ඒ අය නම්: මිසරය, ජුදාව, ඒදොම්, අම්මොන්, මෝවබ් යන රටවල සිටින අය ද කාන්තාරයේ වාසය කරන හිසකේ කොටට කැපූ අය ද වෙති. මේ සියලු දෙනා ද ඉශ්රායෙල් වැසියන් සියලු දෙනා ද සිතෙහි පාප මල ඡේදනය නොකළ අය ය.”</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">එම්බා ඉශ්රායෙල් වංශය, සමිඳාණන් වහන්සේ ඔබ හැමට වදාරන වචන අසන්න.</verse>
				<verse number="2">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “විජාතීන්ගේ මාර්ගය අනුගමනය නොකරන්න; අහසේ ලකුණුවලට ජාතීන් කැළඹෙන නමුත්, නුඹලා ඒවාට නොකැළඹෙන්න.</verse>
				<verse number="3">ජාතීන්ගේ චාරිත්‍ර නිෂ්ඵල ය. විජාතීන්ගේ කැපූ රූප පුහු දේවල් ය. ඒවා වනයේ ගසකින් කපාගත් ලී පමණකි. ලී කැටයම් කරුවෙක් ඒවා සිය ආයුධවලින් නෙළයි.</verse>
				<verse number="4">ඔහු ඒවා රන් රිදීයෙන් සරසා මිටියෙන් ඇණ ගසා, නොසෙල්වෙන ලෙස සවි කරයි.</verse>
				<verse number="5">ඒවා වනාහි කැකිරි වත්තක සිටුවා ඇති, කතා කරන්නට බැරි පඹයන් වැනි ය. ඒවාට ඇවිදින්නට බැරි නිසා ඔසවාගෙන යා යුතු ය. ඒවාට බිය නොවන්න; මන්ද, නුඹලාට අනතුරක් කරන්න වත් යහපතක් කරන්න වත් ඒවාට බැරි ය.”</verse>
				<verse number="6">සමිඳුනි, ඔබට සම කිසිවෙක් නැත. ඔබ පරාක්‍රමවත් ය. ප්‍රබලතාවෙන් ඔබේ නම උතුම් ය.</verse>
				<verse number="7">
					ජාතීන්ගේ නිරිඳාණෙනි, ඔබට බිය නොවන්නේ කවරේ ද?
					බිය විය යුත්තේ ඔබට පමණ ය. ජාතීන් අතර ද සියලු රාජ්‍යයන්හි ද සියලු පැණවතුන් අතර ද ඔබට සම කිසිවෙක් නැත.
				</verse>
				<verse number="8">ඔව්හු හැම දෙන අඥාන ය, මෝඩ ය. ඒ ලී පිළිමවලින් උගත හැකි දෙයක් ඇද් ද?</verse>
				<verse number="9">තර්ෂිෂ් රටෙන් ගෙනා රිදී තහඩුවලින් ද ඕපීර් රටෙන් ගෙනා රත්රන්වලින් ද ඒ රූප සාදා ඇත. ඒවා සාදා ඇත්තේ, කැටයම්කරුවන්ගේ හා රන්කරුවන්ගේ අතින් ය. ඒවා දක්ෂ කම්කරුවන් විසින් නිල් හා දම් පැහැති රාජකීය ඇඳුමෙන් පළඳවනු ලැබ ඇත.</verse>
				<verse number="10">එහෙත්, සමිඳාණෝ සැබෑ දෙවිඳාණෝ ය; ජීවමාන දෙවි තුමාණෝ ය; සදාකාල රජ තුමාණෝ ය. එතුමන්ගේ උදහසට පොළොව වෙවුළයි. එය දරන්නට හැකි ජාතියක් මිහි පිට නොවෙයි.</verse>
				<verse number="11">අහසත්, පොළොවත් නොමැවූ මේ දෙවිවරු මිහි පිටින් ද අහස යටින් ද විනාශ කරනු ලබති යි මාගේ සෙනඟ වන ඔබ ජාතීන්ට කිව යුතු ය.</verse>
				<verse number="12">සමිඳාණෝ සිය බලයෙන් පොළොව මැවූ සේක; සිය ඥානයෙන් ලෝකය පිහිටෙව් සේක; සිය නුවණින් අහස පැතිරෙව් සේක.</verse>
				<verse number="13">සමිඳුන්ගේ අණින් අහස් ජලය ගිගුරුම් දෙයි; පොළෝ සීමාවලින් මීදුම සෑදී නැඟී එයි; එතුමාණෝ, වර්ෂාව සඳහා විදිලි කෙටීම් ඇති කරන සේක; එතුමාණෝ සිය ගබඩාවලින් සුළඟ ගෙනෙන සේක.</verse>
				<verse number="14">මේ නිසා සියලු මනුෂ්‍යයෝ අනුවණ මෝඩයෝ වෙති. සියලු රන්කරුවෝ තමන් නෙළූ රූප නිසා ලජ්ජාවට පැමිණ සිටිති. ඒවා පණ නැති හිස් පිළිම වන බැවිනි.</verse>
				<verse number="15">ඒවා නොවටින නිසරු වැඩ වෙයි. දඬුවම් කිරීමට සමිඳුන් පැමිණි විට ඒවා විනාශ කරදමනු ඇත.</verse>
				<verse number="16">ජාකොබ්ගේ දෙවිඳාණෝ ඒවාට සමාන නැත; සියලු දේ මවා ඇත්තේ එතුමාණෝ ය; ඉශ්රායෙල් සෙනඟ එතුමාණන් තෝරාගත් සෙනඟ ය. සව් බලැති සමිඳාණෝ යනු එතුමාණන්ගේ නාමය වේ.</verse>
				<verse number="17">“වටලනු ලැබ සිටින ජෙරුසලම් ජනයෙනි, නුඹලාගේ බඩු පොදි බැඳගන්න.</verse>
				<verse number="18">මන්ද, සමිඳාණන් වහන්සේ මේ දේශයෙන් වැසියන් පිටමං කරන්න යන සේක. නුඹලාට දැනෙන ලෙස උන් වහන්සේ නුඹලා විනාශ කරන්න යන සේක. මෙසේ පැවසුවේ සමිඳාණන් වහන්සේ ය.”</verse>
				<verse number="19">ජෙරුසලම් සෙනඟ කෑගසමින් මෙසේ කියති: “අහෝ! අපේ පීඩාව කොපමණ බරපතල ද? අපේ තුවාළ සුව කළ නොහැකි ලෙස දරුණු ය. එහෙත්, ‘අප ඒවා ඉවසිය යුතු යැ’යි අපි කීවෙමු.</verse>
				<verse number="20">අපේ කූඩාරම් නාස්ති විය: ඒවායේ ලණු සියල්ල ද කඩාදමනු ලැබී ය. අපේ දරුවන් අප අත්හැර, අප කෙරෙන් වෙන් වී ගොස් ඇත. දැන් අපේ කූඩාරම් දිගහැර තිර එල්ලන්න කිසිවෙක් නැත.”</verse>
				<verse number="21">ජෙරමියා පිළිතුරු දෙමින් මෙසේ කී ය: “ඔබේ නායකයෝ මෝඩයෝ ය. ඔව්හු සමිඳාණන් වහන්සේගෙන් කරුණු නොවිමසති. ඔවුන් දියුණු නොවුණේ එබැවිනි. ඔවුන්ගේ බාරයේ සිටි සෙනඟ ද විසිර ගොස් ඇත.</verse>
				<verse number="22">සවන් දෙන්න, අන්න, ජුදා නගර පාළුවක් ද සිවලුන්ගේ වාසයක් ද කිරීමට යන බවට දූසමාන කතාවක හඬක් ද මහා ඝෝෂාවක් ද උතුරු දේශයෙන් ඇසෙන්නේ ය.</verse>
				<verse number="23">සමිඳුනි, මිනිසාගේ සරණ මිනිසා ම නොවන බවත්, ඔහු යා යුතු මඟ නියම කිරීම ඔහුට ම අයිති නැති බවත් ඔබ දන්න සේක.</verse>
				<verse number="24">සමිඳුනි අප විනාශ නොවන පිණිස, ඔබේ උදහසින් නොව, නිසි ප්‍රමාණයෙන් අපට දඬුවම් කළ මැනව.</verse>
				<verse number="25">ඔබ නොපිළිගන්න ජාතීන් කෙරෙහි ද ඔබට යාච්ඤා නොකරන මිනිසුන් කෙරෙහි ද ඔබේ කෝපය වැගිරෙවුව මැනව. මන්ද, ඔව්හු ජාකොබ්ගේ වංශය මරාදැමූ හ; ඔවුන් සහමුලින් ම විනාශ කළහ. ඔවුන්ගේ දේශය නැතිනාස්ති කළහ.”</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">සමිඳාණන් වහන්සේගෙන් ජෙරමියා වෙත පැමිණි පණිවුඩය මෙසේ ය:</verse>
				<verse number="2">“මේ ගිවිසුමේ නියමයන්ට සවන් දෙන්න. ජුදාහි මිනිසුන්ටත්, ජෙරුසලමේ වැසියන්ටත් කතා කරන්න. ‘මේ ගිවිසුමේ නියමයන්ට කීකරු නොවන අයට</verse>
				<verse number="3">ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ සාප කර ඇතැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි කියන්න.</verse>
				<verse number="4">මා ඔවුන්ගේ පියවරුන්, යකඩ ගිනි උදුනක් වැනි මිසර දේශයෙන් පිටත ගෙනා කල, ඔවුන් සමඟ කළ ගිවිසුම මෙය වේ. ‘මාගේ වචනයට කීකරු වී මා අණ කරන සියල්ල ඉටු කරන්න; එවිට නුඹලා මාගේ සෙනඟ වන්නහු ය. මම නුඹලාගේ දෙවියන් වහන්සේ ද වන්නෙමි’යි මම ඔවුන්ට කීවෙමි.</verse>
				<verse number="5">එවිට ඔවුන්ගේ පියවරුන්ට කිරි හා පැණි ගලා යන දේශය දැන් තිබෙන පරිදි දීමට මා දිවුරා කළ පොරොන්දුව ඉටු කරන්නෙමි.” ජෙරමියා, “එසේ ය, ස්වාමීනි”යි පිළිතුරු දුන්නේ ය.</verse>
				<verse number="6">එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “ජුදා නගරවලටත්, ජෙරුසලමේ වීදිවලටත් ගොස් මාගේ පණිවුඩය එහි ප්‍රකාශ කරන්න. එනම්, මාගේ ගිවිසුමේ නියමයන්ට සවන් දී ඒවාට කීකරු වන්න සෙනඟට කියන්න.</verse>
				<verse number="7">මා ඔවුන්ගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනා දින පටන් අද දක්වා නොකඩවා මම ඔවුන්ට අවවාද කර, මාගේ හඬට කීකරු වන්නැ යි සැබැවින් ම වදාළෙමි.</verse>
				<verse number="8">එහෙත්, ඔවුන් කීකරු වුණේ වත්, සවන් දුන්නේ වත් නැත. ඒ වෙනුවට ඔව්හු තමන්ගේ නපුරු සිත්වල මුරණ්ඩුකමේ හැටියට හැසුරුණෝ ය. ‘මාගේ ගිවිසුමට කීකරු වන්නැ’යි මා ඔවුන්ට අණ කළ නමුත්, ඔවුන් ඊට කීකරු වුණේ නැත. ඒ නිසා ගිවිසුමේ විස්තර කොට ඇති දඬුවම් මම ඔවුන් පිට පැමිණෙව්වෙමි.”</verse>
				<verse number="9">තවද, සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “ජුදෙව් සෙනඟ හා ජෙරුසලමේ වැසියෝ මට විරුද්ධ ව කැරලි ගසති.</verse>
				<verse number="10">මාගේ වචනවලට කීකරු නොවූ ඔවුන්ගේ පියවරුන්ගේ පාපවලට ඔව්හු ද වැටී සිටිති. ඔවුන් අන් දෙවිවරුන් අනුගමනය කර, ඔවුන්ට නමස්කාර කර ඇත. ඉශ්රායෙල් වංශය හා ජුදා වංශය මා ඔවුන්ගේ පියවරුන් හා සමඟ කළ ගිවිසුම කඩ කර ඇත.</verse>
				<verse number="11">එබැවින් සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මම ඔවුන්ට ගැළවෙන්න බැරි විපතක් ඔවුන් පිට පමුණුවන්නෙමි. ඔවුන් මට මොරගැසුවත්, මම ඔවුන්ට සවන් නොදෙමි.</verse>
				<verse number="12">එවිට ජුදා සෙනඟ ද ජෙරුසලමේ වැසියන් ද ඔවුන් සුගන්ධ ද්‍රව්‍ය ඔප්පු කරන දෙවිවරුන් වෙත ගොස් මොරගසනු ඇත. එහෙත්, මේ විපත පැමිණිවිට ඒ දෙවිවරුන්ට ඔවුන් ගළවන්නට කොහෙත් ම නොහැකි ය.</verse>
				<verse number="13">ජුදාවේ සෙනඟට, නගර ඇති තරමට දෙවිවරුත් සිටිති; නින්දිතයා නම් වූ බාල් දෙවියාට නමස්කාරය සඳහා ජෙරුසලමේ වැසියන් ඔවුන්ට ඇති වීදි තරමට, පූජාසන ද පිහිටුවා ඇත.</verse>
				<verse number="14">ඒ නිසා ජෙරමියා, නුඹ මේ සෙනඟ උදෙසා යාච්ඤා නොකරන්න; ඔවුන් වෙනුවෙන් කන්නලව් ද යැදුම් ද ඔප්පු නොකරන්න. ඔවුන් විපත්ති කාලයේ දී මට යාච්ඤා කරන විට මම ඔවුන්ගේ වචන නොඅසන්නෙමි.</verse>
				<verse number="15">“මා ප්‍රේම කරන සෙනඟ නපුරු ක්‍රියා කරති. මාගේ මාලිගාවේ සිටීමට ඔවුන්ට ඇති අයිතිය කුමක් ද? බාරහාර ඔප්පු කිරීමෙන් හා සතුන් පූජා කිරීමෙන් විපතෙන් බේරෙන්න පුළුවනැ යි ඔව්හු සිතත් ද? ඒ මඟින් තමන්ට පවිත්‍ර විය හැකි යැ යි ඔව්හු සිතත් ද?</verse>
				<verse number="16">කදිම පල ඇති, අලංකාර, සරු ඔලීව ගසක් යයි මම ඔවුන් නම් කෙළෙමි. එහෙත්, දැන් මම මේඝ ගර්ජනාවක් සේ ගොරවා ඒ ගසේ කොළවලට ගිනි ලා දවාලමි.</verse>
				<verse number="17">ඉශ්රායෙල් හා ජුදාව ඉදි කෙළේ, සියලු බලැති ස්වාමීන් වන මම ය. එහෙත්, මා දැන් ඔවුන්ට විපත්තිය නියම කර ඇත. ඔවුන් බාල් දෙවියාට සුවඳ දුම් ඔප්පු කිරීමෙන් වැරදි දේ කර තිබෙන නිසා, ඔවුන් මා කෝප කරවා ඇත.”</verse>
				<verse number="18">මාගේ සතුරන් මට විරුද්ධ ව කරන්න අදහස් කළ නපුරු දේ ගැන සමිඳාණන් වහන්සේ මට දැන්වූ බැවින් මම එය දැනගත්තෙමි.</verse>
				<verse number="19">මම, මරණයට ගෙනයන හීලෑ බැටළු පැටවෙකු මෙන් සිටියෙමි; ‘අපි පල සමඟ ගස සිඳදමන ලෙස ඔහුගේ නම තවත් ඉතිරි නොවන පිණිස ජීවත් ව සිටින්නන්ගේ දේශයෙන් ඔහු නැති කර දමමු’යි ඔවුන් මට විරුද්ධ ව උපා යෙදූ බව මම නොදැන සිටියෙමි.</verse>
				<verse number="20">ජෙරමියා යාච්ඤා කරමින්, “යුක්ති සහගත ලෙස විනිශ්චය කරන, හෘදයත්, සිතත් විමසන සියලු බලැති සමිඳුනි, මාගේ නඩුව මා ඔබ ඉදිරියේ තබා ඇති බැවින් ඔවුන්ගෙන් ඔබ පළි ගනු දැකීමට මට ඉඩ ලැබේ වා!”යි කී ය.</verse>
				<verse number="21">“ඔබ අප අතින් මරුමුවට පත් නොවන පිණිස නම්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් අපට දිවැස් වැකි නොකියන්නැ”යි කියමින් ජෙරමියාගේ ප්‍රාණය හානිකරන්නට සොයන අනාතොත්හි මිනිසුන් ගැන සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:</verse>
				<verse number="22">“මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි. යෞවනයෝ කඩුවෙන් මැරුම් කන්නෝ ය; ඔවුන්ගේ පුත්‍රයෝ ද දූවරු ද සාගතයෙන් මැරෙන්නෝ ය.</verse>
				<verse number="23">ඔවුන්ගෙන් කිසිවෙක් ද ඉතිරි නොවන්නේ ය. මන්ද, මම අනාතොත්හි වසන මිනිසුන් පිට විපත්තිය එනම්, ඔවුන් පිට දඬුවම් කිරීමේ අවුරුද්ද පමුණුවන්නෙමි.”</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">ඔබට මාගේ නඩුව ඉදිරිපත් කරන විට, සමිඳුනි, ඔබ සාධාරණය, යුක්තිය පිළිබඳ කරුණු ගැන ඔබෙන් ප්‍රශ්න කරන්නට කැමැත්තෙමි. දුදනන්ට සැප සම්පත් අත්වන්නේ මන් ද? ද්‍රෝහීන් සඵල වන්නේ මන් ද?</verse>
				<verse number="2">ගසක් මෙන් ඔබ ඔවුන් හිටවූ සේක; ඔව්හු මුල් ඇද, වැඩී, සඵල වන්නෝ ය. මුවින් ඔව්හු ඔබ පසසති; සිතින් නම් ඔබෙන්, දුරු ව සිටිති.</verse>
				<verse number="3">එහෙත් සමිඳුනි, ඔබ මා දන්න සේක; ඔබ මා දකින සේක. ඔබට ඇති මාගේ ලැදිකම ද ඔබ විමසන සේක. මරණයට නියමිත බැටළුවන් මෙන් මේ සෙනඟ වෙන් කර, ඝාතන දවසට ඔවුන් සූදානම් කළ මැනව.</verse>
				<verse number="4">දේශය වේළී තිබෙන්නේත්, මුළු රටේ තණ කොළ මැලවී යන්නේත් කොපමණ කාලයකට ද? එහි වැසියන්ගේ දුෂ්ටකම නිසා මෘගයෝ ද පක්ෂීහු ද මිය යති. “ඔබ අපේ අවසානය නොදකින සේකැ”යි ඔව්හු කියති.</verse>
				<verse number="5">සමිඳාණෝ මෙසේ පිළිතුරු දුන් සේක: “නුඹ පයින් යන මිනිසුන් සමඟ තරඟයට දුවන කල, ඔව්හු නුඹ වෙහෙසට පත් කළෝ නම්, නුඹ අශ්වයන් සමඟ දුවන්නේ කෙසේ ද? අකුල් නැති දේශයක නුඹ වැටෙන්නෙහි නම්, ජොර්දාන් වන ලැහැබෙහි නුඹට කුමක් සිදු වේ ද?</verse>
				<verse number="6">නුඹේ සහෝදරයෝ, නුඹේ ම පවුලේ අය, නුඹට විරුද්ධ ව ද්‍රෝහිකම් කළෝ ය. ඔව්හු නුඹ ප්‍රසිද්ධියේ විවේචනය කළෝ ය. ඔවුන් නුඹ සමඟ හොඳින් කතා කළත් ඔවුන් විශ්වාස නොකරන්න.”</verse>
				<verse number="7">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම මාගේ සෙනඟ අත්හැරියෙමි; මා තෝරාගත් දේශය මම ප්‍රතික්ෂේප කෙළෙමි; මා ප්‍රේම කරන සෙනඟ මම සතුරන් අතට පාවා දුන්නෙමි;</verse>
				<verse number="8">මා තෝරාගත් සෙනඟ වනගත සිංහයෙකු මෙන් මට විරුද්ධ ව හැරී ඇත; කුරිරු ලෙස මට ගොරවා ඇත. එබැවින් මම ඔවුන්ට ද්වේෂ කෙළෙමි.</verse>
				<verse number="9">මා තෝරාගත් සෙනඟ වනාහි සතුරු ගිජු පක්ෂීන්ගෙන් වට වූ උකුස්සෙකු වැන්න. වනයේ සියලු සතුනි, ගොදුරට රැස් වන්න.</verse>
				<verse number="10">එඬේරු බොහෝ දෙනෙක් මාගේ මිදි වත්ත නාස්ති කළෝ ය; මාගේ කෙත් පාගාදැමුවෝ ය; මාගේ ප්‍රියංකර දේශය පාළුකරයක් කළෝ ය.</verse>
				<verse number="11">එය පාළුකරයක් වී ඇත. එය පාළු වී මට මොරගසයි; එය කාන්තාරයක් වී ඇත. එහෙත්, කිසිවෙකු එය ගණන්ගන්නේ නැත.</verse>
				<verse number="12">නාස්තිකාරයෝ පාළුකරයේ ගස්කොළන් නැති සියලු ම කඳුවලට පැමිණ සිටිති. සමිඳුන්ගේ කඩුවෙන් දේශය එක් කෙළවරක පටන් අනෙක් කෙළවර දක්වා විනාශ කරනු ලබන්නේ ය. එහි කිසිවෙක් සාමය නොදකිති; එහි ජීවත් විය නොහැකි ය.</verse>
				<verse number="13">මාගේ සෙනඟ තිරිඟු වපුළ නමුත්, කටු ගස් කපාගත්හ; බොහෝ වෙහෙස වූ නමුත්, ඔව්හු ප්‍රතිඵල නොලැබූ හ. සමිඳුන්ගේ බලවත් උදහස නිසා ඔවුන්ගේ අස්වැන්න නිෂ්ඵල වී ඇත.”</verse>
				<verse number="14">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මාගේ සෙනඟ වන ඉශ්රායෙල්ට මා හිමි කර දුන් දේශය නැතිනාස්ති කළ සියලු ම නපුරු අසල්වැසියන්ට විරුද්ධ ව මට කරුණක් කියන්න ඇත. මම ඔවුන්ගේ දේශයෙන් ඔවුන් උදුරාදමන්නෙමි. ඔවුන්ගේ අතින් ජුදා දේශය බේරාගන්නෙමි.</verse>
				<verse number="15">තවද, මා ඔවුන් බේරාගත් පසු, මම යළිත් ඔවුන්ට අනුකම්පා කොට, ඔවුන් එකිනෙකා තමතමාගේ උරුමයටත්, තමතමාගේ දේශයටත් පමුණුවන්නෙමි.</verse>
				<verse number="16">ඔව්හු මාගේ සෙනඟට බාල් දෙවියා ගැන දිවුරන්නට ඉගැන්වූ පරිදි, මාගේ සෙනඟගේ දහම් මඟ මුළු සිතින් පිළිගෙන, ‘ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ය’ කියා මාගේ නමින් දිවුරන්නට ඉගෙනගන්නෝ නම්, ඔව්හු ද මාගේ සෙනඟගේ කොටසක් වී සමෘද්ධිමත් වන්නෝ ය.</verse>
				<verse number="17">එහෙත්, යම් ජාතියක් කීකරු නොවන්නේ නම්, මම ඒ ජාතිය උදුරාදමා විනාශ කරදමමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මට කතා කොට, “නුඹ ගොස් හණ රෙද්දක් මිලේට ගෙන නුඹේ ඉඟටිය වටා එය ඇඳගන්න; එය වතුරේ නොදමන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="2">මම ද සමිඳාණන් වහන්සේ මට වදාළ පරිදි හණ රෙද්දක් මිලේට ගෙන එය ඉඟටිය වටා ඇඳගත්තෙමි.</verse>
				<verse number="3">එවිට සමිඳාණන් වහන්සේ යළිත් මට කතා කරමින්,</verse>
				<verse number="4">“නුඹ මිලේට ගත්, නුඹේ ඉඟටිය වටා ඇඳගෙන සිටින හණ රෙද්ද රැගෙන යුප්‍රටීස් ගඟ ළඟට ගොස් එහි පර්වත විවරයක එය සඟවා තබන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="5">මම ද සමිඳාණන් වහන්සේ මට අණ කළ ලෙස ගොස් යුප්‍රටීස් ගඟ ළඟ එය සඟවා තැබීමි.</verse>
				<verse number="6">කීප දවසකට පසු සමිඳාණන් වහන්සේ මට කතා කොට, “යුප්‍රටීස් ගඟ ළඟට යළිත් ගොස්, එහි සඟවා තබන්නට මා නුඹට අණ කළ හණ රෙද්ද එතැනින් ගන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="7">මම ද යුප්‍රටීස් ගඟ ළඟට ගොස් හණ රෙද්ද සඟවා තැබූ තැනින් එය සොයාගතිමි. එය නාස්ති වී වැදගැම්මකට නැති වී තිබිණි.</verse>
				<verse number="8">එවිට සමිඳාණන් වහන්සේ මට කතා කරමින් මෙසේ වදාළ සේක:</verse>
				<verse number="9">“මා ජුදා රටේ උඩඟුකම ද ජෙරුසලමේ මහා උඩඟුකම ද විනාශ කරන්නේ මේ අයුරින් ය.</verse>
				<verse number="10">මාගේ වචනයට සවන් නොදෙන, තමන්ගේ සිතුමතේට මුරණ්ඩුකමින් හැසිරෙන, අන් දෙවිවරුන්ට සේවය කරමින් නමස්කාර කරන පිණිස ඔවුන් පසුපස දුවන, මේ දුෂ්ට සෙනඟ වැදගැම්මකට නැති මේ හණ රෙද්ද හා සමාන වනු ඇත.</verse>
				<verse number="11">හණ රෙද්ද ඉඟටිය වටා බැඳ ඇත්තෙකු මෙන් ඉශ්රායෙල්හි සියලු සෙනඟ ද ජුදාහි සියලු සෙනඟ ද මට බැඳී සිටින්න මම කරුණු සැලසීමි. මා එසේ කෙළේ, ඔවුන් මාගේ සෙනඟ වී, මාගේ නාමයට ප්‍රශංසාවක් ද ගෞරවයක් ද වන පිණිස ය. එහෙත්, ඔව්හු මට කීකරු නො වූ හ.”</verse>
				<verse number="12">“තවද ජෙරමියා, ඉශ්රායෙල් සෙනඟට කතා කොට, ‘සියලු භාජන මුද්‍රික පානයෙන් පිරවිය යුතු යයි නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේකැ’යි කියන්න. ඔවුන් නුඹට කතා කොට, ‘හැම භාජනයක් ම මුද්‍රික පානයෙන් පුරවා තැබිය යුතු බව අපි දනිමු’යි කියනු ඇත.</verse>
				<verse number="13">එවිට ස්වාමීන් වන මා මේ දේශයේ සියලු ජනයාට එනම්, පූජකයන්ට ද දිවැසිවරුන්ට ද දාවිත්ගේ පරපුරෙහි සියලු රජවරුන්ට ද ජෙරුසලම්හි සියලු වැසියන්ට ද වෙරි වන තුරු මුද්‍රික පානය පොවන බව ඔවුන්ට කියන්න.</verse>
				<verse number="14">ඉන්පසු මම ඔවුන්ගේ පියවරුන් ද පුත්‍රයන් ද සියලු සෙනඟ ද එකිනෙකා ඝට්ටනය කොට විනාශ කරන්නෙමි. ඔවුන් විනාශ නොවන හැටියට මා ඔවුන්ට දයා වන්නේ වත්, කරුණා කරන්නේ වත්, අනුකම්පා කරන්නේ වත් නැත.”</verse>
				<verse number="15">ඉශ්රායෙල් ජනයෙනි, සමිඳාණෝ කතා කළ සේක. අහංකාර නොවී එතුමාණන්ට සවන් දෙන්න.</verse>
				<verse number="16">ඔබ හැමගේ දෙවි සමිඳුන් අන්ධකාරය පමුණුවන්න පෙර, ඔබ හැමගේ පාද අඳුරු කඳුවල පැකිළෙන්න පෙර, ඔබ බලා සිටින ආලෝකය එතුමාණන් ඝනාන්ධකාරය කරන්න පෙර, එතුමාණන්ට ගෞරව කරන්න.</verse>
				<verse number="17">ඔබ සවන් නොදෙන්නහු නම්, ඔබේ අහංකාරය නිසා මම රහසිගත ව හඬමි. සමිඳුන්ගේ සෙනඟ වහල්කමට ගෙනයනු ලැබූ නිසා මම හඬා වැලපෙමි. බොහෝ සෙයින් කඳුළු වගුරන්නෙමි.</verse>
				<verse number="18">රජුට හා මවු බිසවට කතා කරමින්, “කිරුළු හිසින් ගිලිහී වැටී ඇති නිසා සිහසුනින් බැස පහතට එන්නැ”යි සමිඳාණෝ වදාළ සේක.</verse>
				<verse number="19">දකුණු දිශාවේ නගර වටලා ඇත; ඒවාට පිවිසෙන්නට කිසිවෙකුට නොහැකි ය. මුළු ජුදා රට වහල්කමට ගෙන ගොස් ඇත; සහමුලින් ම එසේ ගෙන ගොස් ඇත.</verse>
				<verse number="20">ජෙරුසලම් ජනයෙනි, ඇස් ඔසවා බලන්න; උතුරු දෙසින් එන්නේ කවරෙක් ද කියා බලන්න. ඔබට භාර දුන් කදිම රැළක් වැනි වූ ඔබේ සෙනඟ කොහේ ද?</verse>
				<verse number="21">ඔබේ මිතුරෝ යයි ඔබ සිතූ සෙනඟ, ඔබේ නායකයන් වශයෙන් පත් කරනු ලැබූ විට ඔබ කුමක් කියන්නහු ද? විළිරුජාවෙන් පෙළෙන ස්ත්‍රියක සේ වේදනාවෙන් ඔබ පෙළෙන්නේ නැද් ද?</verse>
				<verse number="22">ඔබට මෙසේ සිදු වන්නේ මන්දැ යි, ඔබේ ඇඳුම් ගලවාදැමූ විට ඔබට නින්දාවක් නැත්තේ මන්දැ යි ඔබ මෙනෙහි කර බැලූ විට ඔබේ අපරාධ ඉමහත් නිසා යයි ඔබට පෙනී යනු ඇත.</verse>
				<verse number="23">එතියෝපිය මිනිසෙකුට සිය හමේ පාට වත්, කොටියෙකුට උගේ ඇඟේ ලප වත් කොයි ලෙසින් වත් වෙනස් කළ හැකි ද? එසේ කළ හැකි නම්, නපුර කරන්න හුරුපුරුදු ඔබ හැමටත් යහපත කරන්න හැකි වෙයි.</verse>
				<verse number="24">“මරුකතරේ සුළඟට ගසා යන පිදුරු මෙන් සමිඳුන් වන මා ඔබ හැම විසුරුවාදමනු ඇත.</verse>
				<verse number="25">ඔබ සමිඳුන් අමතක කළ බැවින්, අන් දෙවිවරුන් විශ්වාස කළ හෙයින් ඔබ හැමට මැන තිබෙන උරුමයත්, ඉරණමත් මෙසේ වන්නේ යයි සමිඳාණෝ වදාරන සේක.</verse>
				<verse number="26">සමිඳාණෝ ම ඔබේ ඇඳුම් ගලවාදමා ඔබේ ලජ්ජාව හෙළි කරන සේක.</verse>
				<verse number="27">හෙල් පිටත්, එළිමහනේත් ඔබේ පරදාරකම් ද වෙළඹකගේ මෙන් හේෂාරවය කිරීම් ද ඔබේ දුරාචාර ද සල්ලාලකම් ද සමිඳාණන් දැක ඇති බැවින් ඉශ්රායෙල් ජනයෙනි, ඔබට වන විපතක මහත! කවදා ඔබ පිරිසිදු වන්නහු ද?”</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">නියඟය ගැන සමිඳාණන් වහන්සේ ජෙරමියාට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“ජුදාව වැලපෙයි; එහි නගර මලානික වෙයි; එහි සෙනඟ පොළොව මත දුකින් වැතිර ළතෝනි කියති. ජෙරුසලමේ විලාප ද නැඟී යයි.</verse>
				<verse number="3">ඔවුන්ගේ උත්තමයෝ වතුර ගෙනෙන පිණිස සිය සේවකයන් යවති. ඔව්හු ළිං ළඟට ගොස් වතුර නොලැබ, හිස් භාජන ඇති ව ආපසු හැරී එති. ඔව්හු වියවුලටත්, ලජ්ජාවටත් පැමිණ තමන්ගේ මුහුණු වසා සඟවාගනිති.</verse>
				<verse number="4">දේශයට වැසි නොලැබුණ නිසා බිම වියළී තිබෙන බැවින් ගොවියෝ කැළඹී දුකින් තමන්ගේ මුහුණු සඟවාගනිති.</verse>
				<verse number="5">ඒ පිට්ටනියේ සිටින මුව දෙන පවා තණ කොළ නැති නිසා අලුත උපන් ඇගේ පැටවා අත්හැර යන්නී ය.</verse>
				<verse number="6">වල් කොටළුවෝ ද ගස්කොළන් නැති කඳු මත සිට සිවලුන් මෙන් සුළඟට ඉව අල්ලති. තණ කොළ නැති නිසා උන්ගේ ඇස් ද නොපෙනී යයි.</verse>
				<verse number="7">මාගේ සෙනඟ මොරගසමින් මෙසේ යාච්ඤා කරති: ‘සමිඳුනි, අපි ඔබට විරුද්ධ ව පව් කෙළෙමු. අපේ අයුතුකම්, අපේ අපරාධ, අපට විරුද්ධ ව සාක්ෂි දෙන නමුත්, ඔබේ නාමය වෙනුවෙන් අපට පිහිට වුව මැනව. අපි බොහෝ වර ඔබ වෙතින් හැරී ගියෙමු. ඔබට විරුද්ධ ව පව් කෙළෙමු.</verse>
				<verse number="8">සමිඳුනි, ඔබ ඉශ්රායෙල්වරුන්ගේ බලාපොරොත්තුව ද විපත් සමයේ ගැළවුම්කාරයාණෝ ද වන සේක. එසේ වුව ද, එක රැයකට නවාතැන් ගත් මඟියෙකු මෙන් අපේ දේශයේ ආගන්තුක ව සිටින්නේ මන් ද?</verse>
				<verse number="9">ඔබ සිත් වියවුල් වූ මිනිසෙකු මෙන් ද යමෙකු ගළවන්නට බැරි බලවතෙකු මෙන් ද වී සිටින්නේ මන් ද? එහෙත් සමිඳුනි, ඔබ අප මධ්‍යයෙහි සිටින සේක. ඔබේ නාමයෙන් හැඳින්වෙන අපි ඔබේ සෙනඟ වමු; අප අත් නොහළ මැනව.’ “</verse>
				<verse number="10">මේ සෙනඟ ගැන සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඔවුන් තමන්ගේ පාද හසුරුවා නොගෙන මුළා වී යන්න මෙපමණ ප්‍රිය වූ බැවින් මම ඔවුන් කෙරෙහි අප්‍රසන්න ව සිටිමි. මම ඔවුන්ගේ අපරාධ සිහි කොට ඔවුන්ගේ පාපවලට දඬුවම් කරන්නෙමි.”</verse>
				<verse number="11">සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “මේ සෙනඟගේ යහපත උදෙසා මට යාච්ඤා නොකරන්න. ඔවුන් උපවාසයේ යෙදුණත්, ඔවුන්ගේ කන්නලව්වලට මම සවන් නොදෙන්නෙමි; ඔවුන් දවන යාග පූජා ද ධාන්‍ය පූජා ද ඔප්පු කරතත්, මම ඒවා නොපිළිගනිමි.</verse>
				<verse number="12">ඒ වෙනුවට කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද මම ඔවුන් විනාශ කරන්නෙමි.”</verse>
				<verse number="13">එවිට මම මෙසේ කීවෙමි: “අහෝ දෙවි ස්වාමීන් වහන්ස, දිවැසිවරු සෙනඟ අමතා, ඔබ වහන්සේ ඔවුන්ට මේ ස්ථානයේ දී තිර සාමදානය දෙන බැවින්, ඔවුන් කඩුව දකින්නේ වත්, සාගතයෙන් පෙළෙන්නේ වත් නැතැ යි කියති.”</verse>
				<verse number="14">සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක: “දිවැසිවරු මාගේ නාමයෙන් බොරු දිවැස් වැකි කියති. මා ඔවුන් එව්වේ වත්, ඔවුන්ට අණ කෙළේ වත්, ඔවුන්ට කතා කෙළේ වත් නැත. ඔවුන් ප්‍රකාශ කරන්නේ බොරු දර්ශන ය. වැඩකට නැති පේන කීම් ය; සිතින් මවාගත් වංචනික දේ ය.</verse>
				<verse number="15">මා නොඑවූ නමුත්, මාගේ නාමයෙන් දිවැස් වැකි කියන, ‘කඩුව වත්, සාගතය වත්, මේ දේශයට නොපැමිණෙන්නේ ය’යි කියන මේ දිවැසිවරුන් ගැන ස්වාමීන් වන මා කියන දේ මෙය වේ: ඔව්හු කඩුවෙන් ද සාගතයෙන් ද විනාශ වන්නෝ ය.</verse>
				<verse number="16">ඔවුන්ගේ දිවැස් වැකි අසන සෙනඟ ද සාගතයට හා කඩුවට ගොදුරු වී ජෙරුසලමේ වීදිවල හෙළා දමනු ලබන්නෝ ය; ඔවුන් ද ඔවුන්ගේ භාර්යාවන් ද දරුදැරියන් ද වළලන්නට කිසිවෙක් නොවන්නාහ. ඔවුන්ගේ දුෂ්ටකමේ පල විපාකය ඔවුන්ට ම විඳගන්නට මම සලස්වන්නෙමි.</verse>
				<verse number="17">“ජෙරමියා, ඔබ සෙනඟට මෙසේ කියන්න: ‘රෑ දාවල් දෙක්හි මාගේ ඇස්වලින් කඳුළු නොනැවතී ගලායන්නේ ය. මන්ද, මාගේ සෙනඟ බරපතල තුවාළයකින් ද ඉතා දරුණු පහරකින් ද පීඩිත ව සිටිති.</verse>
				<verse number="18">මා පිටතට ගිය විට කඩුවෙන් මැරුම් කෑ අය මට පෙනේ; මා නගරයට ඇතුළු වූ විට සාගතයෙන් ලෙඩ වී සිටින අය මට පෙනේ. දිවැසිවරු ද පූජකයෝ ද කිසිවක් නොදැන දේශයේ ඔබමොබ යති.’ “</verse>
				<verse number="19">“සමිඳුනි, ඔබ මුළුමනින් ම ජුදා ප්‍රතික්ෂේප කළ සේක් ද? සියොන් වැසියෝ ඔබට පිළිකුල් වී සිටිත් ද? අපට සුවයක් ලැබීමට නොහැකි වන පරිදි ඔබ අපට පහර දුන්නේ මන් ද? අපි ද සාමදානය ගැන බලා සිටියෙමු; එහෙත්, කිසි හොඳක් නො වී ය; සුව වීමේ කාලයක් ගැන බලා සිටියෙමු. එහෙත් මෙන්න, භීතිය පමණක් ඇති වී තිබේ.</verse>
				<verse number="20">සමිඳුනි, අපේ දුෂ්ටකමත්, අපේ පියවරුන්ගේ අපරාධයත් අපි පිළිගනිමු. අපි ඔබට විරුද්ධ ව පව් කෙළෙමු.</verse>
				<verse number="21">ඔබේ නාමය නිසා අප ඉවත නොදැමුව මැනව. ඔබේ තේජසේ සිංහාසනය පිහිටි ජෙරුසලමට අගෞරව නොකළ මැනව. අප සමඟ තිබෙන ඔබේ ගිවිසුම සිහි කර එය කඩ නොකළ මැනව.</verse>
				<verse number="22">වැසි වස්වන්නට හැකි කෙනෙක් විජාතීන්ගේ බොරු දෙවිවරුන් අතරේ සිටිත් ද? වැහිවලා දෙන්නට අහසට පුළුවන් ද? නොහැකි ය. අපේ දෙවි ස්වාමීන් වහන්සේ ඔබ නොවන සේක් ද? මේ දේ කළ හැක්කේ ඔබට පමණක් බැවින් අපි ඔබ කෙරෙහි බලාපොරොත්තු ව සිටිමු.”</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">එකල සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “මෝසෙස් හා සාමුවෙල් මා ඉදිරියෙහි සිට කන්නලව් කළත්, මේ සෙනඟට මම අනුකම්පා නොකරමි. මා ඉදිරියෙන් ඔවුන් පහ කරන්න; ඔවුන් පලවා හරින්න.</verse>
				<verse number="2">‘අප කොතැනට යා යුතු දැ’යි නුඹෙන් ඇසූ විට, ඔවුන්ට මා මෙසේ වදාළ බව කියන්න. ‘වසංගතයට නියම වූ අය වසංගතයටත්, කඩුවට නියම වූ අය කඩුවටත්, සාගතයට නියම වූ අය සාගතයටත්, වහල්කමට නියම වූ අය වහල්කමටත් යා යුතු ය.’</verse>
				<verse number="3">ඔවුන් විනාශ කිරීමට මාරක සතරක් ස්වාමීන් වන මා නියම කර ඇත. එනම්, මරාදමන පිණිස කඩුව ද ඉරාදමන පිණිස බල්ලෝ ද කාදමා නැති කරන පිණිස අහසේ පක්ෂීහු හා පොළොවේ මෘගයෝ ද යන සතර ය.</verse>
				<verse number="4">ජුදාහි රජ වූ හෙසකියාගේ පුත් මනස්සේ ජෙරුසලමේ කළ දේ නිසා, ලොවේ සියලු ජාතීන්ගේ පිළිකුලට ඔවුන් භාජන කරන්නෙමි.</verse>
				<verse number="5">එම්බා ජෙරුසලම! නුඹට අනුකම්පා කරන්නේ කවරෙක් ද? නුඹ ගැන වැලපෙන්නේ කවරෙක් ද? නුඹේ සුව දුක් අහන්නට නුඹ ළඟට එන්නේ කවරෙක් ද?</verse>
				<verse number="6">නුඹලා මා ප්‍රතික්ෂේප කර මට පිටුපා ගොස් ඇත. මෙසේ කියන්නේ ස්වාමීන් වන මම ය. ලතැවීමෙන් මා වෙහෙසට පත් වී සිටින බැවින් මම මාගේ අත නුඹලාට විරුද්ධ ව ඔසවා නුඹලා විනාශ කෙළෙමි.</verse>
				<verse number="7">මම කුල්ලකින් පොළන්නාක් මෙන් දේශයේ හැම නගරයක දී ඔවුන් පොළාදැමුවෙමි. ඔවුන් කෙරේ වියෝ දුක පැමිණෙව්වෙමි. මාගේ සෙනඟ වන නුඹලා නුඹලාගේ නපුරු මාර්ගවලින් හැරී නොපැමිණි බැවින් මම නුඹලා අත්හැර විනාශ කෙළෙමි.</verse>
				<verse number="8">මම වැන්දඹුවන්ගේ ගණන මුහුදේ වැලිවලටත් වඩා වැඩි කෙළෙමි. ජීවිතයේ ඉර මුදුන් වේලාවේ මම නුඹලාගේ තරුණයන්ගේ මවුවරුන්ට සිත් වේදනාව ද භීතිය ද හදිසියේ ඇති වන්නට සැලසුවෙමි.</verse>
				<verse number="9">දරුවන් හත්දෙනෙකු වැදූ මව දුර්වල වී ක්ලාන්ත වූවා ය. ඇගේ එළිය දවාලෙහි ම අඳුරට හැරී ඇත. ඈ ලජ්ජාවටත්, නින්දාවටත් පත් වූවා ය. ඔවුන්ගෙන් ඉතිරි අය ඔවුන්ගේ සතුරන් ඉදිරියේ දී කඩුවට භාර දෙන්නෙමි. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
				<verse number="10">අහෝ මාගේ මෑණියෙනි! මුළු දේශය සමඟ තරඟ ද විවාද ද කරන මිනිසෙකු වීමට ඔබ මා වැදූ නිසා මට සිදු වී ඇති විපතක මහත! මා කිසිවෙකුට ණයට දුන්නේ වත්, කිසිවෙකුගෙන් ණයට ගත්තේ වත් නැත. එහෙත්, සියල්ලෝ ම මට සාප කරති.</verse>
				<verse number="11">සමිඳුනි! ඔවුන්ගේ යහපත පිණිස මම යාච්ඤා නොකෙළෙම් නම්, කරදර කාලයෙහිත්, විපත් කාලයෙහිත් සතුරා උදෙසා ඔබ වහන්සේට කන්නලව් නොකෙළෙම් නම්, මේ සාප මා පිට පැමිණේ වා!</verse>
				<verse number="12">යකඩ කඩන්නට පුළුවන් කවරෙකුට ද? විශේෂයෙන් ම උතුරු දිශාවේ ලෝකඩ මිශ්‍ර යකඩ කඩන්නට පුළුවන් කවරෙකුට ද?</verse>
				<verse number="13">සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “දේශයේ හැම තැන ම ඔවුන් කර ඇති ඔවුන්ගේ පව් නිසා, මාගේ සෙනඟගේ සම්පත හා වස්තුව කොල්ලයක් මෙන් පැහැරගෙන යන්නට මම සලස්වන්නෙමි.</verse>
				<verse number="14">මාගේ උදහසින් සදහට ම ඇවිලෙන ගින්නක් දැල්වී තිබෙන බැවින් මම ඔවුන් තමන් නොදන්න දේශයක සතුරන්ට සේවය කරන්නට සලස්වන්නෙමි.”</verse>
				<verse number="15">එවිට ජෙරමියා මෙසේ පිළිතුරු දුන්නේ ය: “සමිඳුනි, ඔබ සියල්ල දන්න සේක, මා සිහි කොට, මා දෙස බලා මට පීඩා කරන්නන්ගෙන් මා වෙනුවෙන් පළිගත මැනව. ඔවුන් කෙරේ ඇති ඔබේ ඉවසිලිවන්තකම නිසා මා තුරන් නොකළ මැනව. ඔබ නිසා මා නින්දාව ඉසිලූ බව සිහි කළ මැනව.</verse>
				<verse number="16">ඔබ මට කතා කළ විට, මම ඒවාට සවන් දුන්නෙමි. ඒවා මට ප්‍රීතියක් ද මාගේ සිතට සතුටක් ද වේ. මන්ද, සියලු බලැති දෙවි ස්වාමීන් වහන්ස, මම ඔබේ නාමය දරමි.</verse>
				<verse number="17">විනෝදකාමීන්ගේ සමාගමෙහි හිඳගෙන මම ප්‍රීති නොවීමි. මට විරුද්ධ ව අත එසෙවූ බැවින් ඔවුන්ගෙන් වෙන් වී මම කෝපයෙන් පිරී සිටියෙමි.</verse>
				<verse number="18">මාගේ වේදනාවට කෙළවරක් නැත්තේ මන් ද? මාගේ තුවාළ අසාධ්‍ය ව තිබෙන්නේ මන් ද? ඒවා සුව නොවන්නේ මන් ද? ඔබ දිය සිඳී යන රැවටලිකාර දිය පාරක් මෙන් වන සේක් ද?”</verse>
				<verse number="19">මෙයට සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක: “නුඹ ආපසු ආවොත් මම නුඹ නැවත පිළිගන්නෙමි. නුඹ ද මා ඉදිරියේ සිටින්නෙහි ය. නුඹ නොවටින දේ නොව, අගනා දේ කතා කරන්නෙහි නම්, නුඹ මාගේ මුඛය මෙන් වන්නෙහි ය. එවිට සෙනඟ නුඹ වෙත හැරී එනු ඇත. ඔවුන් වෙත යන්න නුඹට වුවමනාවක් නොවනු ඇත.</verse>
				<verse number="20">මම මේ සෙනඟට විරුද්ධ ව නුඹ බලවත් ලෝකඩ පවුරක් මෙන් කරන්නෙමි. ඔව්හු නුඹට විරුද්ධ ව යුද්ධ කරතත් නුඹෙන් ජය නොගනිති. මන්ද, නුඹ ගළවන්නත්, නිදහස් කරන්නත් මම නුඹ සමඟ සිටිමි.</verse>
				<verse number="21">මම නපුරන්ගේ අතින් නුඹ නිදහස් කරන්නෙමි. බලහත්කාරකම් කරන්නන්ගේ බලයෙන් නුඹ මුදන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">සමිඳාණන් වහන්සේ යළිත් මට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“මේ ස්ථානයෙහි නුඹ ස්ත්‍රියක සරණ පාවා නොගන්න. දරුදැරියෝ ද නුඹට නොසිටිත් වා!</verse>
				<verse number="3">මෙහි උපදින දරුදැරියන්ටත්, ඔවුන් දැරූ මවුවරුන්ටත්, ඔවුන් ජනිත කළ පියවරුන්ටත් සිදු වන්න යන දේ මම නුඹට කීවෙමි.</verse>
				<verse number="4">ඔව්හු බලවත් රෝගවලින් මැරෙන්නෝ ය; කිසිවෙක් ඔවුන් ගැන නොවැලපෙන්නෝ ය; ඔව්හු වළලනු නොලබති; බිම ඇති කසළ මෙන් වන්නෝ ය. ඔව්හු කඩුවෙන් ද සාගතයෙන් ද විනාශ වන්නෝ ය; ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත්, පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේ ය.</verse>
				<verse number="5">“වැලපීම ඇති නිවෙසට ඇතුළු නොවන්න; ළතෝනි කියන්නට නොයන්න; ඔවුන් ගැන ශෝක නොවන්න. මාගේ සාමදානයත්, ස්ථිර ප්‍රේමයත්, අනුකම්පාවත් මේ සෙනඟගෙන් ඉවත් කරගතිමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="6">මේ දේශයේ ලොකු කුඩා අය මැරෙනු ඇත. ඔවුන් වළලනු ලබන්නේ වත්, කිසිවෙකු ඔවුන් ගැන විලාපයක් කියන්නේ වත් නැත. කිසිවෙකු ශෝකයෙන් සිය ශරීරය කපාගන්නේ වත්, හිස මුඩු කරගන්නේ වත් නැත.</verse>
				<verse number="7">මළවුන් නිසා වියෝ දුක ඇති අයෙකුගේ සැනසීම සඳහා ඔහු සමඟ දානයක් වළඳන කෙනෙක් නොවන්නෝ ය; දෙමවුපියන් නිසා ඔහුට සැනසීමේ කුසලාන දෙන කෙනෙක් ද නොවන්නෝ ය.</verse>
				<verse number="8">“මංගල භෝජනයක් පවත්වන ගෙදරකට ඇතුළු නොවන්න. එහි සිටින්නන් සමඟ කන බොන පිණිස වාඩි නොවන්න.</verse>
				<verse number="9">ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් වන, සියලු බලැති ස්වාමීන් වන මා කියන දේට සවන් දෙන්න. ඔවුන්ගේ ඇස් හමුයෙහි ම, ඔවුන් ජීවත් ව සිටින කාලයේ දී ම ප්‍රීති ප්‍රමෝද නාදය ද මනාලයා සහ මනාලියගේ හඬ ද මේ ස්ථානයෙන් මම තුරන් කරන්නෙමි.</verse>
				<verse number="10">“නුඹ මේ කරුණු මේ සෙනඟට දැන්වූ විට ඔවුන් නුඹෙන් මෙසේ අසනු ඇත: ‘මේ සියලු බරපතල විපත්ති සමිඳාණන් වහන්සේ අප පිට පැමිණෙව්වේ මන් ද? අපේ අපරාධය කුමක් ද? අපේ දෙවි ස්වාමීන් වහන්සේට විරුද්ධ ව අප කළ පාපය කුමක් ද?’ ”</verse>
				<verse number="11">එවිට සමිඳාණන් වහන්සේ මෙසේ කියනු ඇතැ යි ඔවුන්ට කියන්න. ‘නුඹලාගේ පියවරු මා අත්හැර අන් දෙවිවරුන් පස්සේ ගොස්, ඔවුන්ට සේවය කර, නමස්කාර කර, මා අත්හැර දමා මාගේ ව්‍යවස්ථාව ද නොපැවැත්වූ හ.</verse>
				<verse number="12">නුඹලා නුඹලාගේ පියවරුන්ටත් වඩා නපුරු ලෙස ක්‍රියා කර ඇත. නුඹලා මට සවන් නො දී, නුඹලාගේ මුරණ්ඩු නපුරු සිතුවිලි අනුව හැසිරෙන්නහු ය.</verse>
				<verse number="13">එබැවින්, නුඹලා වත්, නුඹලාගේ පියවරුන් වත් දැන නොගත් දේශයකට මම නුඹලා නෙරපාදමන්නෙමි. එහි නුඹලා රෑ දහවල් අන් දෙවිවරුන්ට සේවය කරනු ඇත. මම නුඹලාට කිසි අනුකම්පාවක් නොදක්වමි.’</verse>
				<verse number="14">“ ‘ඉශ්රායෙල් සෙනඟ මිසර දේශයෙන් ගෙනා ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමය’ කියා තවත් දිවුරන්නට නොහැකි කාලය පැමිණෙන්නේ ය.</verse>
				<verse number="15">ඒ වෙනුවට, ‘ඉශ්රායෙල් සෙනඟ උතුරු දේශයෙන් ද ඔවුන් විසුරුවා හැරි දේශවලින් ද ගෙනා ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමය’ කියා දිවුරන කාලය පැමිණෙන්නේ ය. මා ඔවුන්ගේ පියවරුන්ට දුන් ඔවුන්ගේ දේශයට ඔවුන් නැවත පමුණුවන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="16">“මේ සෙනඟ අල්ලන පිණිස මම මසුන් අල්ලන්නන් බොහෝ දෙනෙකු එවන්නෙමි. ඉන්පසු සියලු කඳුවල ද සියලු හෙල්වල ද පර්වත විවරවල ද දඩයමින් මෙන් ඔවුන් ගෙනෙන පිණිස දඩයම්කාරයන් මම එවන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="17">ඔවුන් කරන සියලු දේ මට පෙනේ; කිසිවක් මාගෙන් සැඟවී නැත; ඔවුන්ගේ අයුතුකම් මාගේ ඇස් ඉදිරියෙන් සැඟවී නැත.</verse>
				<verse number="18">මළකඳන් වැනි අශික්ෂිත පිළිමවලින් ඔවුන් මාගේ දේශය දූෂණය කර, දේශය පිළිකුල් කටයුතු දෙවිවරුන්ගෙන් පුරවා ඇති නිසා මම ඔවුන්ගේ අයුතුකමටත්, පාපයටත් දෙගුණයක් ප්‍රතිවිපාක ගෙන දෙන්නෙමි.”</verse>
				<verse number="19">සමිඳුනි, ඔබ වහන්සේ මාගේ බලය ද බලකොටුව ද විපත්ති දවසේ දී මාගේ රැකවරණය ද වන සේක. විජාතීහු පොළොවේ සීමාවලින් ඔබ වෙත අවුත් කතා කොට, “අපේ පියවරු වැඩකට නැති බොරු දෙවිවරුන්ට ගැති ව සිටියහ.</verse>
				<verse number="20">මිනිසෙකුට තමා උදෙසා ම දෙවිවරුන් සාදාගත හැකි ද? නැත. ඒවා ඇත්තට ම දෙවිවරු නොවෙති”යි කියති.</verse>
				<verse number="21">“එබැවින් මාගේ බලයත්, මාගේ පරාක්‍රමයත් මේ වතාවේ නිශ්චය වශයෙන් ඔවුන්ට දැනගන්නට සලස්වන්නෙමි. එවිට මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇතැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.</verse>
			</chapter>
			<chapter number="17">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ජුදා වැසියෙනි, නුඹලාගේ පාපය යකඩ පෑනකින් ලියා තිබේ. වජ්‍ර තුඩකින් එය නුඹලාගේ සිත නමැති පුවරුවේ ද පූජාසනයේ නෙරා ඇති අං වැනි කොන්වල ද කොටා තිබේ.</verse>
				<verse number="2">නුඹලාගේ දරුවෝ අතුපතර ඇති ගස් ළඟ ද උස් හෙල් උඩ ද</verse>
				<verse number="3">ගම්බද පළාත්වල ගිරිකුළු මත ද අෂේරා දේවතාවිය උදෙසා තනාගත් ඔවුන්ගේ පූජාසන සිහි කරති. දේශයේ සෑම තැන ම නුඹලා කර ඇති පාප නිසා නුඹලාගේ සම්පත ද සකල වස්තුව ද සතුරන් විසින් පැහැරගෙන යනු ලබන්නට සලස්වන්නෙමි.</verse>
				<verse number="4">මා නුඹලාට දුන් දේශය අත්හරින්නට නුඹලාට සිදුවන්නේ ය; නුඹලා නොදන්න දේශයක දී නුඹලාගේ සතුරන්ට සේවය කරන්නට නුඹලාට සලස්වන්නෙමි. මන්ද, මාගේ කෝපය කරණකොටගෙන සදහට ම ඇවිලෙන ගින්නක් දැල්වී තිබේ.”</verse>
				<verse number="5">සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මිනිසුන් කෙරෙහි විශ්වාසය තබන, මියයන සුලු සිරුර ශක්තිය කරගෙන, සමිඳුන් කෙරෙන් හැරී ඉවත් ව යන මිනිසා සාප ලද්දෙකි.</verse>
				<verse number="6">ඔහු පාළුකරයෙහි ඇති පඳුරකට සමාන වේ. යහපත පැමිණි විට එය ඔහුට නොපෙනේ. පාළුකරයෙහි වියළි තැන්හි, මිනිසුන් නොවසන ලුණු බිම්හි ඔහු වාසය කරයි.</verse>
				<verse number="7">සමිඳුන් කෙරෙහි විශ්වාසය තබන, සමිඳුන් තරයේ විශ්වාස කරන මිනිසා භාග්‍යවන්තයෙකි.</verse>
				<verse number="8">
					ඔහු, ගං ඉවුරේ සිටුවා ඇති, ගඟට ම මුල් ඇද ඇති;
					ගිම්හානයට කිසි බියක් නැති; කොළ පර වී යාමක් නැති; නියඟ කාලය ගැන කරදර නැති; නොනැවතී දිගට ම පලදාවක් ඇති ගසක් හා සමාන වේ.
				</verse>
				<verse number="9">අන් කිසිවකට වඩා සිත කපටි ය, හැම අතින් ම එය දූෂණය වී ඇත; එය තේරුම්ගත හැක්කේ කාට ද?</verse>
				<verse number="10">
					සමිඳුන් වන මම, මිනිසාගේ සිත සෝදිසි කර බලමි;
					මිනිසාගේ හදවත පරීක්ෂා කර බලමි. එසේ කරන්නේ, මිනිසාගේ හැසිරීම අනුව ඔහු ජීවත් වන පිළිවෙළ ලෙස ඔහුට විපාක දෙන පිණිස ය.”
				</verse>
				<verse number="11">වංචාවෙන් මුදල් උපයන මිනිසා, ඈ නොදැමූ බිජු රකින කපුටියක වැනි ය; පසු ව පැටවුන් ඇගෙන් ඉගිලී යන ලෙස ජීවිතයේ ඉර මුදුන් වේලේ ඒ සම්පත ඔහුගෙන් නැති වී යයි. මෙසේ ඔහු අන්තිමයේ දී මෝඩයෙකු බවට පත් වෙයි.</verse>
				<verse number="12">කන්දක් මත මුල සිට ම පිහිටා ඇති අපේ දේව මාලිගය තේජාන්විත සිහසුනකි.</verse>
				<verse number="13">ඉශ්රායෙල්වරුන්ගේ බලාපොරොත්තුව වන සමිඳුනි, ඔබ අත්හරින සියල්ලෝ ලජ්ජාවට පැමිණෙති. ඔබ ජීවමාන උල්පත වන බැවින් ඔබ අත්හැර යන සියල්ලන් ධූලි මත ලියූ නම් ලෙසින් නියතින් පහ වී යනු ඇත.</verse>
				<verse number="14">සමිඳුනි, මා සුව කළ මැනව. එවිට මම සුවපත් වන්නෙමි. මා ගළවාගත මැනව. එවිට මම ගැළවෙන්නෙමි. මම ඔබ පමණක් පසසන්නෙමි.</verse>
				<verse number="15">“සමිඳුන් කළ ප්‍රකාශනය කොහේ ද? ඒවා ඉටු නොවන්නෙ මන් දැ”යි සෙනඟ මට කියති.</verse>
				<verse number="16">එහෙත් සමිඳුනි, ඔබ දන්න පරිදි ඔවුන් පිට විනාශය පමුණුවන්නට වත්, නපුරු කාලයක් ඔවුන්ට ගෙනදෙන්නට වත් මම ඔබෙන් නොඉල්ලුවෙමි. මා මුවින් නික්මුණු වචන ඔබ දන්න සේක.</verse>
				<verse number="17">ඔබ මට බියට කරුණක් නොවන සේක. විපත්ති දවසේ දී ඔබ මාගේ රැකවරණය වන සේක.</verse>
				<verse number="18">මට පීඩා කරන්නෝ ලජ්ජාවට පැමිණෙත් වා! මම ලජ්ජාවට නොපැමිණෙම් වා! ඔව්හු භීතියට පැමිණෙත් වා! මම භීතියට නොපැමිණෙම් වා! විපත් දවස ඔවුන් පිට පමුණුවා ඔවුන් සහමුලින් ම වනසාලුව මැනව.</verse>
				<verse number="19">සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “නුඹ ගොස් ජුදාහි රජවරුන් යන එන බෙන්ජමින්ගේ දොරටුවේ ද ජෙරුසලමේ සියලු දොරටුවල ද සිට මෙසේ කියන්න.</verse>
				<verse number="20">ජුදාහි රජවරුන්ටත්, ජුදා ජනයාටත්, මේ දොරටුවලින් ඇතුළු වන ජෙරුසලමේ සියලු වැසියන්ටත් සමිඳාණන් වහන්සේගේ වචනයට සවන් දෙන ලෙස දන්වා සිටින්න.</verse>
				<verse number="21">නුඹලාගේ ප්‍රාණයට නුඹලා ආදරේ නම්, සබත් දවසේ දී නුඹලා කිසි බරක් උසුලාගෙන නොයා යුතු ය. ජෙරුසලමේ දොරටුවලින් නුඹලා කිසි බරක් උසුලාගෙන නොගෙනා යුතු ය.</verse>
				<verse number="22">සබත් දවසේ දී නුඹලාගේ ගෙවලින් බරක් ගෙන නොගිය යුතු ය. කිසි ම බර වැඩක් නොකළ යුතු ය. නුඹලාගේ පියවරුන්ට මා අණ කළ ප්‍රකාරයට නුඹලා සබත් දවස ශුද්ධ ලෙස පැවැත්විය යුතු ය.</verse>
				<verse number="23">නුඹලාගේ පියවරු මා දෙසට කන් යොමු කර මට සවන් නුදුන්නෝ ය. ඒ වෙනුවට නුඹලා සිත් දැඩි කරගෙන, මට කීකරු වුණේ වත්, මාගේ අවවාද පිළිගත්තේ වත් නැත.</verse>
				<verse number="24">මේ සෙනඟ මට සහමුලින් ම කීකරු විය යුතු ය. සබත් දවසේ දී නුඹලා කිසි බරක් උසුලාගෙන දොරටුවලින් නොයා යුතු ය. නුඹලා සබත් දවස ශුද්ධ දවසක් ලෙස පවත්වා, එදින කිසි බර වැඩක් නොකළ යුතු ය.</verse>
				<verse number="25">නුඹලා මෙසේ කළොත්, දාවිත්ගේ සිංහාසනයේ වැඩ හිඳින, රථවල හා අශ්වයන් පිට නැඟී යන රජවරුන් සහ ඔවුන්ගේ අධිපතීහු ද ජුදාහි ජනයා ද ජෙරුසලමේ වැසියෝ ද මේ නගරයේ දොරටුවලින් ඇතුළු වන්නෝ ය. මේ නගරය සදහට ම පවතිනු ඇත.</verse>
				<verse number="26">තවද, ජුදා නගරවලින් ද ජෙරුසලම අවට පෙදෙස්වලින් ද බෙන්ජමින්ගේ දේශයෙන් ද පාත රටින් ද කඳුකරයෙන් ද දකුණු දෙසින් ද මනුෂ්‍යයෝ දවන පූජා ද යාග පූජා ද ආහාර පූජා ද කට්ටකුමංජල් ද ස්තුති පූජා ද රැගෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පැමිණෙන්නෝ ය.</verse>
				<verse number="27">එහෙත්, සබත් දවස ශුද්ධ ලෙස පවත්වන හැටියටත්, සබත් දවසේ දී බරක් උසුලාගෙන ජෙරුසලමේ දොරටුවලින් ඇතුළු නොවන හැටියටත් මා කී දේට ඔවුන් සවන් නුදුන්නොත්, මම එහි දොරටුවල ගින්නක් අවුළුවන්නෙමි; ඒ ගින්න ජෙරුසලමේ මාලිගා දවාලන්නේ ය. එය කිසි සේත් නොනිවිය හැකි ය.”</verse>
			</chapter>
			<chapter number="18">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“නුඹ නැඟී කුම්භකාරයාගේ ගෙට යන්න; එහි දී මාගේ පණිවුඩය නුඹට ප්‍රකාශ කරන්නෙමි.”</verse>
				<verse number="3">එකල මම කුම්භකාරයාගේ ගෙදරට ගියෙමි; ඔහු සකපෝරුවෙන් වැඩ කරමින් සිටියේ ය.</verse>
				<verse number="4">යම්කිසි විටක ඔහු අඹමින් සිටි මැටි බඳුනක් නරක් වූ කල, ඔහු යළිත් ඒ මැටි ගෙන එයින් වෙන බඳුනක් තමා රිසි සේ සෑදුවේ ය.</verse>
				<verse number="5">එකල සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="6">“එම්බා ඉශ්රායෙල් ජනයෙනි, මේ කුම්භකාරයා කරන ලෙස නුඹලාට කරන්නට මටත් බැරි ද? මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය. ඉශ්රායෙල් ජනයෙනි, කුම්භකාරයාගේ අතේ තිබෙන මැටි පිඬක් මෙන් නුඹලා මාගේ අතේ සිටින්නහු ය.</verse>
				<verse number="7">යම්කිසි ජාතියක් හෝ රාජ්‍යයක් හෝ ගැන, ‘මම එය උදුරා කඩාදමා නැති කරන්නෙමි’යි කී කල,</verse>
				<verse number="8">ඒ ජාතිය තමන්ගේ අදමිටුකමින් හැරුණොත්, මා එයට කරන්නට අදහස් කළ විපත ගැන මාගේ සිත වෙනස් කරගන්නෙමි.</verse>
				<verse number="9">එමෙන් ම, යම්කිසි ජාතියක් හෝ රාජ්‍යයක් හෝ ගැන ‘මම එය ගොඩනඟා වර්ධනය කරන්නෙමි’යි කී කල,</verse>
				<verse number="10">ඒ ජාතිය මාගේ හඬට කීකරු නොවී, මාගේ ඇස් හමුයෙහි නපුරු දේ කළහොත්, මා එයට කරන්න අදහස් කළ යහපත ගැන මාගේ සිත වෙනස් කරගන්නෙමි.</verse>
				<verse number="11">එබැවින් නුඹ ජුදා ජනයාටත්, ජෙරුසලම් වැසියන්ටත් කතා කොට, මා ඔවුන්ට විරුද්ධ ව යම් යම් යෝජනා කරන බවත්, ඔවුන්ට දඬුවම් කරන්නට යන බවත් කියන්න. ඔවුන්ගේ පාප මාර්ගයෙන් හැරී එන්න කියා ඔවුන්ට කියන්න. ඔවුන්ගේ හැසිරීම ද ක්‍රියා මාර්ගය ද ඔවුන්ට කියන්න.</verse>
				<verse number="12">එහෙත් ඔවුන්, ‘එයින් වැඩක් නැත; අපේ ම අභිප්‍රායයන් ලෙස අපි හැසිරෙමු, අපි එකිනෙකා අපේ නපුරු සිත්වල මුරණ්ඩුකම ලෙස ක්‍රියා කරන්නෙමු’යි පිළිතුරු දෙනු ඇත.</verse>
				<verse number="13">“එබැවින් ස්වාමීන් වන මම මෙසේ වදාරමි. ‘මෙවැන්නක් මීට පෙර සිදු වුණ බව අසා ඇද්දැ’යි සියලු විජාතීන්ගෙන් අසන්න. ඉශ්රායෙල් සෙනඟ භයානක දේ කර ඇත.</verse>
				<verse number="14">ලෙබනොන්හි උස් කඳුවල හිම නැති වන කලක් ඇද් ද? කඳුකරේ ගලා එන සිසිල් දිය දහර සිඳී යන කලක් ඇද් ද?</verse>
				<verse number="15">එහෙත්, මාගේ සෙනඟ මා අමතක කර ඇත. ඔව්හු දේව රූපවලට සුවඳ දුම් අල්ලති; ඔවුන්ගේ පැරණි ගමන් මාර්ගයෙහි ඔව්හු පැකිළී වැටෙති; මහ මඟ නොව, අතු පාරවල ගමන් කරති.</verse>
				<verse number="16">මෙසේ ඔවුන් මේ දේශය මහා භීතියට කරුණක් ද සදහට ම පිළිකුලක් ද කර ඇත. ඒ ළඟින් යන අය බියෙන් බියට පත් ව විස්මයෙන් හිස වන වනා යති.</verse>
				<verse number="17">පෙරදිග සුළඟකින් මෙන් සතුරන් ඉදිරියෙහි මම ඔවුන් විසුරුවා හරින්නෙමි. මාගේ මුහුණ හරවාගෙන ඔවුන්ගේ විපත් සමයෙහි ඔවුන්ට පිටුපා යන්නෙමි.”</verse>
				<verse number="18">එකල සෙනඟ පිළිතුරු දෙමින්, “එන්න, අපි ජෙරමියාට විරුද්ධ ව උපා යොදමු; අපට අනුශාසනා කිරීමට පූජකයන් ද උපදෙස් දීමට ප්‍රඥාවන්තයන් ද පණිවුඩ ප්‍රකාශ කිරීමට දිවැසිවරුන් ද නිතර ම සිටිනු ඇත. ඒ නිසා ජෙරමියා කියන දේට සවන් නොදී ඔහුට විරුද්ධ ව චෝදනා ඉදිරිපත් කරමු”යි කී හ.</verse>
				<verse number="19">එවිට ජෙරමියා සමිඳාණන් වහන්සේට මෙසේ යාච්ඤා කෙළේ ය: “සමිඳුනි, මාගේ සතුරන්ට විරුද්ධ ව කියන දේට සවන් දෙන්න. මාගේ පැමිණිල්ල අසන්න;</verse>
				<verse number="20">යහපතට පල විපාකය අයහපත ද? මාගේ සතුරන් මා නසන්නට බොරු වළක් හාරා ඇත. ඔවුන් වෙනුවෙන් ඔබේ කෝපය පහකරන පිණිස ඔවුන්ගේ යහපත උදෙසා කතා කරන්නට මා ඔබ ඉදිරියෙහි සිටි බව සිහි කළ මැනව.</verse>
				<verse number="21">එහෙත්, දැන් ඔවුන්ගේ දරුවන් හාමතේ මැරෙන්නට හැරිය මැනව. යුද්ධයෙන් මැරෙන්නට සැලසුව මැනව; ඔවුන්ගේ භාර්යාවන්ගේ දරුවෝ ද පුරුෂයෝ ද නැති වෙත් වා! ඔවුන්ගේ පුරුෂයෝ වසංගතයෙන් මැරෙත් වා! ඔවුන්ගේ තරුණයෝ යුද්ධයේ දී කඩුවෙන් මැරුම්කත් වා!</verse>
				<verse number="22">ඔබ හදිසියෙන් සතුරු සේනාවක් ඔවුන්ට විරුද්ධ ව පමුණුවන කල ඔවුන්ගේ නිවෙස්වලින් කෑගැසීමක් ඇසේ වා! මන්ද, ඔවුන් මා අසුකරන්නට වළක් හාරා, මාගේ පාදවලට මලපත් සඟවා තබා ඇත.</verse>
				<verse number="23">එහෙත්, සමිඳුනි, මා මරන පිණිස මට විරුද්ධ ව ඔවුන් යොදන සියලු කුමන්ත්‍රණ ඔබ ම දන්න සේක. ඔවුන්ගේ දුෂ්ටකම් කමා නොකළ මැනව. ඔවුන්ගේ පාපය ද ඔබේ දර්ශනයෙන් නොමැකුව මැනව. ඔබ ඉදිරියෙහි ඔව්හු පැකිළ වැටෙත් වා! ඔබේ උදහසේ කාලයේ දී ඔවුන්ට ප්‍රතිවිපාක දුන මැනව.”</verse>
			</chapter>
			<chapter number="19">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මට කතා කොට, “නුඹ ගොස් කුම්භකාරයාගෙන් මැටි බඳුනක් මිලේට ගන්න. ප්‍රජා මූලිකයන්ගෙන් ද ශ්‍රේෂ්ඨ පූජකයන්ගෙන් ද සමහරදෙනෙකු කැටුව,</verse>
				<verse number="2">කුඹල් දොරටුව ළඟ තිබෙන බෙන්-හින්නොම් මිටියාවතට පැමිණ, මා නුඹට කියන වචන එහි දී ප්‍රකාශ කරන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="3">“නුඹ මෙසේ කියන්න: ජුදාහි රජවරුනි, ජෙරුසලමේ වැසියෙනි, ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වන මා කියන දේට සවන් දෙන්න. අසන සියල්ලන්ගේ කන් දෙදරන තරමට මේ ස්ථානය පිට මම විපත්ති පමුණුවන්නෙමි.</verse>
				<verse number="4">මා මෙසේ කරන්නේ, සෙනඟ මා අත්හැර, මේ ස්ථානය දූෂණය කර, ඔවුන් වත්, ඔවුන්ගේ පියවරුන් වත්, ජුදාහි රජවරුන් වත් දැනහැඳින නොසිටි දෙවිවරුන්ට මෙහි සුවඳ දුම් ඔප්පු කරන නිසාත්, නිදොස් ලෙයින් මේ ස්ථානය පුරවා තිබෙන නිසාත් ය.</verse>
				<verse number="5">තවද, ඔවුන් තමන්ගේ පුත්‍රයන් ගින්නෙන් දවා, බාල් දෙවියාට දවන යාග පූජා කරන පිණිස, බාල් දෙවියාට ගිරිකුළු දේවාල ගොඩනඟා තිබේ. එසේ කරන්නට කියා මා අණ කෙළේ වත්, කීවේ වත් නැත. එවැන්නක් මාගේ සිතට නැඟුණේ වත් නැත.</verse>
				<verse number="6">ඒ නිසා, මේ ස්ථානයට තෝපෙත් කියා වත්, බෙන්-හින්නොම් මිටියාවත කියා වත් නොකියා, ඝාතන මිටියාවත කියා කියන කාලය පැමිණෙන්නේ යයි ස්වාමීන් වන මම කියන්නෙමි.</verse>
				<verse number="7">මේ ස්ථානයේ දී මම ජුදාහි හා ජෙරුසලමේ වැසියන්ගේ යෝජනා කඩාකප්පල් කර දමා, ඔවුන්ගේ සතුරන් ඉදිරියෙහි කඩුවෙන් ද ඔවුන්ගේ දිවි නසන්නට සොයන්නන්ගේ අත්වලින් ද ඔවුන් විනාශ වන්නට සලස්වා, ඔවුන්ගේ මළකඳන් අහසේ පක්ෂීන්ටත්, පොළොවේ මෘගයන්ටත් ගොදුරු කොට දෙන්නෙමි.</verse>
				<verse number="8">මේ දේශය මහා භීතියකට කරුණක් ද පිළිකුලක් ද කරන්නෙමි. ඒ ළඟින් යන අය බියෙන් බියට පත් වී ඔවුන්ට සිදු වූ විපත ගැන සරදම් කරන්නෝ ය.</verse>
				<verse number="9">එහි සිටින සෙනඟට ඔවුන්ගේ ම දරුදැරියන්ගේ මාංස කන්නට මම සලස්වන්නෙමි. ඔවුන්ගේ සතුරන් ද ඔවුන්ගේ දිවි නසන්නට සොයන්නන් ද ඔවුන්ට පීඩා කරන විට වටලනු ලැබූ ඔවුන් තම අසල්වැසියන්ගේ මාංස කනු ඇත.”</verse>
				<verse number="10">එවිට සමිඳාණන් වහන්සේ මා සමඟ ගිය අය ඉදිරියේ මැටි බඳුන බිඳදමා,</verse>
				<verse number="11">“සියලු බලැති සමිඳාණන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට කියන්නැ”යි මට වදාළ සේක. “මේ කුම්භකාරයාට මැටි බඳුන පිළියම් කරන්නට බැරි විදියට නුඹ එය බිඳින පරිදි මම මේ නගරයෙහි සිටින සෙනඟ සිඳබිඳ දමමි. වළලන්නට ඉඩක් නැති නිසා ඔවුන් තෝපෙත්හි මළමිනී වළලනු ඇත.</verse>
				<verse number="12">මම මේ ස්ථානයටත්, මෙහි වැසියන්ටත් එසේ කර, මේ නගරය තෝපෙත් මෙන් කරන්නෙමි.</verse>
				<verse number="13">යම් යම් ගෙවල්වල පියසි උඩ ග්‍රහ තාරකාවන්ට සුවඳ දුම් ඔප්පු කරන්නටත්, අන් දෙවිවරුන්ට පානීය පූජා වගුරන්නටත් යෙදුණේ ද, අපවිත්‍ර වූ ඒ සියලු ගෙවල් එනම්, ජෙරුසලමේ ගෙවල් ද ජුදාහි රජවරුන්ගේ ගෙවල් ද තෝපෙත් මෙන් අපිරිසිදු වන්නේ ය.”</verse>
				<verse number="14">ඉක්බිති ජෙරමියා දිවැස් වැකි කියන පිණිස සමිඳාණන් වහන්සේ විසින් යවනු ලැබූ තෝපෙත් සිට අවුත්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මළුවේ සිටිමින්, මුළු සෙනඟට කතා කොට,</verse>
				<verse number="15">“ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි කී ය. “ඔවුන් මාගේ වචනය නොඅසන පිණිස මුරණ්ඩු ව සිටින බැවින් මම මේ නගරයටත්, ඊට යාබද උපනගරවලටත් විරුද්ධ ව මා කී සියලු විපත් පමුණුවන්නෙමි.”</verse>
			</chapter>
			<chapter number="20">
				<verse number="1">ඉම්මෙර්ගේ පුත් පෂ්හුර් නම් පූජකයෙක් දේව මාලිගාවේ ප්‍රධාන නිලධාරියා විය. දිවැසිවර ජෙරමියා ප්‍රකාශ කළ මේ දේ ඔහුට ඇසිණි.</verse>
				<verse number="2">එබැවින් පෂ්හුර් ජෙරමියාට තළා, දේව මාලිගාවේ බෙන්ජමින් නමැති ඉහළ දොරටුවේ තිබෙන දඬු කඳේ ඔහු දැම්මේ ය.</verse>
				<verse number="3">පසු දින පෂ්හුර් ජෙරමියා දඬු කඳෙන් නිදහස් කළ විට ජෙරමියා ඔහුට මෙසේ කී ය: “සමිඳාණන් වහන්සේ ඔබට, ‘අවට සැපත’ යන අරුත ඇති පෂ්හුර් නොව, ‘අවට භීතිය’ යන අරුත ඇති මාගොර්-මිස්සාබිබ් කියා නම් තබා ඇත.</verse>
				<verse number="4">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරා ඇත: මම නුඹත්, නුඹේ මිත්‍රයනුත් අධික භීතියකට පත්වන්නට සලස්වන්නෙමි. ඔව්හු තමන්ගේ සතුරන්ගේ කඩුවෙන් මැරුම් කන්නෝ ය. නුඹ එය නුඹේ ම ඇස්වලින් දකින්නෙහි ය. මම මුළු ජුදා දේශය බබිලෝනි රජුගේ අතට පාවා දෙන්නෙමි. ඔහු ඔවුන් බබිලෝනියට ගෙන ගොස් කඩුවෙන් මරන්නේ ය.</verse>
				<verse number="5">තවද, මම මේ මුළු නගරයේ සම්පත ද එහි ධනය ද එහි ඇති සියලු වටිනා දේ ද ජුදා රජවරුන්ගේ සකල වස්තුව ද ඔවුන්ගේ සතුරන් අතට දෙන්නෙමි; ඔවුන් ඒවා කොල්ලකා බබිලෝනියට ගෙනයනු ඇත.</verse>
				<verse number="6">එම්බා පෂ්හුර්! නුඹේ ගෙවැසි සියල්ලෝ ද නුඹ ද වහල්කමට ගෙනයනු ලබන්නහු ය. නුඹේ බොරු දිවැස් වැකි ඇසූ නුඹේ සියලු මිත්‍රයෝත්, නුඹත් වහල්කමට බබිලෝනියට ගෙනයනු ලබන්නහු ය. එහි දී නුඹලා මැරී වළලනු ලබන්නහු ය.”</verse>
				<verse number="7">අහෝ සමිඳුනි! ඔබ තුමාණෝ මා මුළා කළ සේක. මම ද මුළා වීමි. ඔබ තුමාණෝ මට වඩා බලවන්ත ය. ඔබ තුමාණෝ මා පරාජයට පත් කළ සේක. දවස පුරා සියල්ලෝ මට කවටකම් කරති. ඔව්හු මට උසුළු-විසුළු කරති.</verse>
				<verse number="8">මා කතා කරන සෑම විට ම මොරගසමින්, ‘සැහැසිකම’, ‘විනාශය’ කියා මම කියමි. ඔබ තුමාණන්ගේ වචනය දවස පුරා ප්‍රකාශ කිරීම මා නින්දාවටත්, සරදමටත් හේතුව වී තිබේ.</verse>
				<verse number="9">‘මම සමිඳාණෝ අමතක කර එතුමාණන්ගේ නාමයෙන් තවත් කතා නොකරන්නෙමි’යි කී විට, ඔබ තුමාණන්ගේ වචනය මාගේ සිතේ ගින්නක් මෙන් ඇවිලෙයි. එය මාගේ ඇටකටු තුළ සැඟවී ඇත. එය සඟවා තබාගැනීමෙන් මම බොහෝ වෙහෙසට පත් වීමි. එහෙත්, තවත් එය තබාගැනීම මට නොකළ හැකි ය.</verse>
				<verse number="10">කසුකුසුව මට ඇසේ, අවට ඇත්තේ භීතියකි; ‘අපි ඔහු ප්‍රතික්ෂේප කරමු. ප්‍රතික්ෂේප කරමු’ කියා මාගේ හිත මිතුරෝ පවා කියති. මාගේ වැටීම ද ඔව්හු බලා සිටිති. ‘සමහර විට ඔහු රැවටෙනු ඇත; එවිට ඔහු පරාජය කොට ඔහුගෙන් පළිගන්නට අපට පුළුවනැ’යි ඔව්හු කියති.</verse>
				<verse number="11">එහෙත් සමිඳුනි, ඔබ තුමාණෝ මහා යුද වීරයෙකු සේ මා සමඟ සිටින සේක. එබැවින් මාගේ පීඩාකාරයෝ පැකිළෙන්නෝ ය; ඔව්හු ජය නොගන්නෝ ය; ඔවුන්ට ජය ගැනීමට බැරි නිසා ඔව්හු ලජ්ජාවට පත් වන්නෝ ය. එය කවදාවත් අමතක නොවන සදාකාල අවනම්බුවක් වන්නේ ය.</verse>
				<verse number="12">සව් බලැති සමිඳුනි, සැදැහැවතුන් පිරික්සන, මාගේ සතුරන්ගේ සිත හද විනිවිද දකින ඔබ තුමාණන් මාගේ සතුරන්ගෙන් පළිගනු දැකීමට මට වර දුන මැනව. මම මාගේ විනිශ්චය ඔබ අතට පවරන්නෙමි.</verse>
				<verse number="13">සමිඳුන්ට ගී ගයන්න; එතුමාණන් පසසන්න. මන්ද, එතුමාණෝ නපුරු මිනිසුන්ගේ අතින් පීඩිත වූවන් මුදාලන සේක.</verse>
				<verse number="14">
					මා උපන් දවසට සාප වේ වා!
					මාගේ මවු මා වැදූ දවසට ද ආසිරි නො වේ වා!
				</verse>
				<verse number="15">“ඔබට පිරිමි දරුවෙක් උපන්නේ ය” කියා මාගේ පියාට දන්වා ඔහු ප්‍රීතිමත් කළ මිනිසාට සාප වේ වා!</verse>
				<verse number="16">ඒ මිනිසා, සමිඳුන් නිර්දය ලෙස විනාශ කළ නගර මෙන් වේ වා! උදෑසන අනතුරු ඇඟවීම ද මද්දහනේ යුද ගොස ද ඔහුට ඇසේ වා!</verse>
				<verse number="17">එසේ සිදු වන්නේ, එතුමාණන් මා මවු කුසේ නොමැරූ නිසා ය. මට මවු ගැබ සොහොන් ගැබ විණි නම්, එය සදහට ම උතුම් වන්නට තිබිණි.</verse>
				<verse number="18">දුකත්, ශෝකයත් දැකීමට ද මාගේ දවස් ලජ්ජාවෙන් පසු කරන්නට ද මවු කුසෙන් මා නික්ම ආවේ මන් ද?</verse>
			</chapter>
			<chapter number="21">
				<verse number="1">ශෙදෙකියා රජු මල්කියාගේ පුත් පෂ්හුර් සහ පූජකයා වන මයසේයාගේ පුත් පූජක ශෙපනියා ද ජෙරමියා වෙත යවා මෙසේ ඇසුවේ ය. එවිට සමිඳාණන් වහන්සේගෙන් ඔහුට මේ පණිවුඩය ලැබුණේ ය.</verse>
				<verse number="2">ඔව්හු ජෙරමියා අමතා, “අනේ! අප උදෙසා සමිඳාණන් වහන්සේගෙන් විමසන්න. මන්ද, බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් අපට විරුද්ධ ව යුද්ධ කරන්නේ ය; සමහර විට සමිඳාණන් වහන්සේ අප උදෙසා කළ පුදුම ක්‍රියා අනුව අප ගැන ක්‍රියා කරමින් නෙබුකද්නෙශර් අප කෙරෙන් ඉවත් වී යාමට සලස්වනු ඇතැ”යි කී හ.</verse>
				<verse number="3">එවිට ජෙරමියා ඔවුන් අමතා, “ඔබ ශෙදෙකියාට මෙසේ කියන්න:</verse>
				<verse number="4">‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: පවුරට පිටතින් ඔබ හැම වටලාගෙන සිටින බබිලෝනියේ රජුටත්, කල්දිවරුන්ටත් විරුද්ධ ව යුද්ධ කිරීමට ගෙන ඇති, ඔබේ අත්වල තිබෙන, යුද්ධායුධ මම ඔබට ම විරුද්ධ ව හරවන්නෙමි. මේ නගරය මැදට මම ඔවුන් රැස් කරන්නෙමි.</verse>
				<verse number="5">මම ද, මාගේ මහ බලය මෙහෙයවමින් කෝපයෙන් ද උදහසින් ද තද අමනාපයෙන් ද ඔබට විරුද්ධ ව යුද්ධ කරන්නෙමි.</verse>
				<verse number="6">මේ නගරයේ ජීවත් වන මිනිසුන් හා මෘගයන් සියලු දෙනාට මම පහර දෙන්නෙමි.</verse>
				<verse number="7">ජුදාහි රජු වන ශෙදෙකියා ද ඔහුගේ සේවකයෝ ද මහා වසංගතයකින් මරනු ලබති. මහා වසංගතයෙන් ද කඩුවෙන් ද සාගතයෙන් ද ගැළවෙන සෙනඟත්, නගරයේ ඉතිරි වන සෙනඟත්, මම බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් අතටත්, ඔවුන්ගේ සතුරන් අතටත්, ඔවුන් ඝාතනය කරන්නට සොයන අය අතටත් පාවා දෙන්නෙමි. නෙබුකද්නෙශර් ඔවුන් මරාදමනු ඇත; ඔවුන් එකෙකු වත් ඉතිරි කරන්නේ නැත. ඔවුන්ට කරුණා කරන්නේ වත්, අනුකම්පා කරන්නේ වත් නැත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.’ “</verse>
				<verse number="8">එවිට සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කර, සෙනඟට මෙසේ කියන්නැ යි වදාළ සේක: “සවන් දෙන්න; ජීවත්වීමේ මාර්ගයත්, මරණයේ මාර්ගයත් මම නුඹලා ඉදිරියේ තබමි.</verse>
				<verse number="9">මේ නගරයේ සිටින අය කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද මැරෙන්නෝ ය. එහෙත්, ඔබ වටලාගෙන සිටින බබිලෝනිවරුන් වෙත ගොස් ඔවුන්ට යටත් වන්නෝ ජීවත් වන්නෝ ය. ඔව්හු පණ ගළවාගෙන බේරී යන්නෝ ය.</verse>
				<verse number="10">මේ නගරයේ ශුභසිද්ධිය පිණිස නොව, විපත්තිය පිණිස මාගේ මුහුණ ඒ දෙසට යොමා ඇත. එය බබිලෝනියේ රජු අතට පාවා දෙනු ලබන්නේ ය. ඔහු එය ගින්නෙන් දවාදමන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
				<verse number="11">ජූදා රජුගේ වංශයට ජෙරමියා කතා කොට මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ වදාළ මේ දේට සවන් දෙන්න.</verse>
				<verse number="12">දාවිත්ගේ පෙළපතේ වැසියෙනි, සෑමදා ම යුක්තිය ඉටු කරන්නට වග බලාගන්න. කොල්ලකනු ලැබූ අය පීඩාකාරයන්ගේ අතින් නිදහස් කරන්න. එසේ නොකළොත්, නුඹලාගේ ක්‍රියාවල දුෂ්ටකම නිසා මාගේ කෝපය කිසිවෙකුට නිවන්නට බැරි ගින්නක් මෙන් ඇවිලෙනු ඇත.</verse>
				<verse number="13">තැනිතලාවට ඉහළින් නැඟෙන පර්වතයේ වාසය කරන්නන්ට විරුද්ධ ව මම සටන් කරමි. ‘නුඹලාට විරුද්ධ ව කිසිවෙකු බැස එන්නේ වත්, නුඹලාගේ වාසස්ථානවලට ඇතුළු වන්නේ වත් නැතැ’යි නුඹලා කියන්නහු ය.</verse>
				<verse number="14">එහෙත්, මම නුඹලාගේ ක්‍රියාවල විපාකය හැටියට නුඹලාට දඬුවම් කරන්නෙමි. මම එහි ඇති කැළෑ රොදට ගිනිලන්නෙමි. ඊට හාත්පසින් ඇති සියලු තැන් එයින් දැවී යන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
			</chapter>
			<chapter number="22">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මට කතා කොට, “ජුදා රජුගේ මාලිගාවට ගොස් මේ වචන පවසන්න.</verse>
				<verse number="2">දාවිත්ගේ සිංහාසනයේ හිඳින ජුදාවේ රජුටත්, ඔහුගේ සේවකයන්ටත්, මේ දොරටුවලින් ඇතුළු වන වැසියන්ටත් සමිඳාණන් වහන්සේගේ වචනයට සවන් දෙන්න කියන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="3">“සාධාරණ ලෙස ද අවංක ලෙස ද ක්‍රියා කරන්න. කොල්ලකනු ලැබූ අය පීඩාකාරයන්ගේ අතින් නිදහස් කරන්න. විදේශිකයාටත්, අනාථයාටත්, වැන්දඹුවටත් අයුක්තියක් හෝ සැහැසිකමක් හෝ නොකරන්න. මේ ස්ථානයේ අහිංසක ලේ නොහළන්න.</verse>
				<verse number="4">නුඹලා මාගේ වචනයට කීකරු වන්නහු නම්, දාවිත්ගේ පරපුරෙන් පැවත එන රජ පරපුර නොකැඩී පවතියි; ඔව්හු ද ඔවුන්ගේ සේවකයෝ ද සෙනඟ ද රථවල හා අශ්වයන් පිට නැඟී, මේ මාලිගාවේ දොරටුවලින් ඇතුළු වන්නෝ ය.</verse>
				<verse number="5">එහෙත්, නුඹලා මේ වචන සිතට නොගත්තොත්, මේ මාලිගාව නටබුන් ගොඩක් වන්නේ යයි මම ම නුඹලාට දිවුරා කියමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="6">“ජුදා රජ මැදුර ගැන සමිඳාණන් වහන්සේ මෙසේ පවසන සේක: ගිලියද් දේශය මෙන් ද ලෙබනොන් කඳු මුදුන මෙන් ද එය මට පියකරු ය. එහෙත්, මම එය කාන්තාරයක් ද වැසියන් නැති නගරයක් ද කරන්නෙමි.</verse>
				<verse number="7">එය විනාශ කිරීමට මම අවිගත් සෙනඟක් සූදානම් කරමි. ඔව්හු අනර්ඝ කිහිරි ගස් කපා ගින්නෙහි දමන්නෝ ය.</verse>
				<verse number="8">“බොහෝ විජාතීන් මේ නගරය ළඟින් යමින්, ස්වාමීන් වන මා මේ උදාර නගරයට මෙසේ කෙළේ මන්දැ යි එකිනෙකාගෙන් අසනු ඇත.</verse>
				<verse number="9">එවිට ඔවුන් පිළිතුරු දෙමින්, ‘ඔවුන් තමන්ගේ සමිඳාණන් වහන්සේගේ ගිවිසුම අත්හැර අන් දෙවිවරුන්ට නමස්කාර කොට, ඔවුන්ට සේවය කළ නිසා ය’යි කියනු ඇත.”</verse>
				<verse number="10">එම්බා ජුදා ජනයෙනි, මියගිය ජොෂියා රජු ගැන ශෝක නොවන්න; ඔහුගේ මරණය ගැන නොවැලපෙන්න. එහෙත්, ඔහුගේ පුත් ජෝවාහාස් ගැන කෑගසා අඬන්න. මන්ද, ඔවුන් ඔහු ගෙන යන බැවිනි. ඔහු හැරී එන්නේ නැත. තමන් උපන් දේශය ඔහු තවත් නොදකින්නේ ය.</verse>
				<verse number="11">ජොෂියා රජුගේ ඇවෑමෙන් ජුදාහි රජකමට පත් වූ එතැනින් පලා ගිය ඔහුගේ පුත් ජෝවාහාස් ගැන සමිඳාණන් වහන්සේ කතා කොට,</verse>
				<verse number="12">“ඔහු වහල්කමට ගෙනයනු ලැබූ තැන ම නසින්නේ ය. ඔහුගේ මේ දේශය කවදාවත් ඔහු නැවත නොදකින්නේ යැ”යි වදාළ සේක.</verse>
				<verse number="13">“අසාධාරණ ලෙස තමාගේ නිවෙස තනාගන්නා වූ වංචාවෙන් උඩුමහල සාදාගන්නා වූ කුලී නොදී මිනිසුන්ගෙන් නිකමට වැඩ ගන්නා වූ මිනිසාට වන විපතක මහත!</verse>
				<verse number="14">‘විශාල උඩුමහල් මැදුරු ඇති මහා වලව්වක් මම ම සාදාගනිමි’යි කියමින්, කිහිරි ලීවලින් පනේල අල්ලා කවුළු දමා රතු සායම් ගාන මිනිසාට වන විපතක මහත!</verse>
				<verse number="15">කිසිවකට දෙ වන නොවන කිහිරි ලීයෙන් නිවාසයක් තනා ගැනීමෙන් නුඹ රජ කෙනෙකු කියා සිතන්නෙහි ද? නුඹේ පියා සැපට කා බී යුතු දේත්, සාධාරණ දේත් කර හැම අතින් ම සමෘද්ධ වුණා නොවේ ද?</verse>
				<verse number="16">ඔහු දිළිඳු අසරණයන්ට යුක්තිය ඉටු කෙළේ ය. ඒ නිසා ඔහු කළ හැම දේ සඵලවත් විය. සමිඳුන් අදහාගැන්ම යන්නෙන් අදහස් කරන්නේ එය යි.</verse>
				<verse number="17">එහෙත්, නුඹේ නෙතත්, සිතත් ආත්මාර්ථයට පමණක් යොමු වී ඇත. නුඹ අහිංසකයන් මරන්නෙහි ය; සෙනඟට සැහැසිකම් හා පීඩා කරන්නෙහි ය. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ ය.”</verse>
				<verse number="18">එබැවින් ජොෂියාගේ පුත් ජුදාහි රජු වන ජෙහෝයාකිම් ගැන සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ ‘අනේ! මාගේ සහෝදරය, අනේ! මාගේ සහෝදරිය’ කියා ඔහු ගැන කිසිවෙක් නොවැලපෙති. ‘අනේ! ස්වාමීනි, අනේ රජිඳුනි,’ කියා ද කිසිවෙක් නොවැලපෙති.</verse>
				<verse number="19">කොටළුවෙකු වළලන පරිදි ඔහු ජෙරුසලමේ දොරටුවලින් එපිටට ඇදගෙන ගොස් වළට විසි කොට වළලනු ලබනු ඇත.”</verse>
				<verse number="20">ජෙරුසලමේ ජනයෙනි, ඔබේ සියලු ම පෙම්වතුන් පරාජය වී සිටින නිසා ලෙබනොන් කන්දට නැඟී ගොස් මොරගසන්න. බාෂාන් දේශයට ගොස් හඬන්න; අබාරිම් කඳු වැටියෙන් මොරහඬ දෙන්න.</verse>
				<verse number="21">ඔබ යෙහෙන් සුවෙන් සිටිය දී සමිඳාණන් වහන්සේ ඔබට කතා කළ සේක. එහෙත්, ඔබ සවන් දුන්නේ නැත. උන් වහන්සේගේ හඬට කීකරු නොවීම යොවුන් වියේ සිට ම ඔබේ පුරුද්දකි.</verse>
				<verse number="22">ඔබේ මූලිකයෝ සුළඟට ගසාගෙන යන්නෝ ය. ඔබේ පෙම්වත්හු හිරකරුවන් මෙන් ගෙනයනු ලබන්නෝ ය. එවිට ඔබේ සියලු නපුරුකම් ගැන ඔබ ලජ්ජාවටත්, නින්දාවටත් පැමිණෙන්නෙහි ය.</verse>
				<verse number="23">අහෝ! ලෙබනොන් වැසියෙනි, කිහිරි ගස් අතර සුරක්ෂිත ව සිටින ඔබට විළිරුදාවෙන් පෙළෙන ස්ත්‍රියක මෙන් දුක් වේදනාව ඇති වූ විට ඔබ කෙඳිරි ගාන්නෙහි ය.</verse>
				<verse number="24">ජෙහෝයාකිම්ගේ පුත් ජුදාහි රජ වූ ජෙකොනියාට සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “නුඹ මාගේ දකුණතේ මුද්‍රාව මෙන් සිටි නමුත්, මම නුඹ උදුරාදමන්නෙමි යි සහතික කොට කියමි.</verse>
				<verse number="25">නුඹේ ප්‍රාණය හානි කරන්නට සොයන්නන් අතටත්, නුඹ බියෙන් සිටි අයගේ අතටත් එනම්, බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් අතටත්, ඔවුන්ගේ හේවායින් අතටත් මම නුඹ පාවා දෙමි.</verse>
				<verse number="26">නුඹත්, නුඹ වැදූ නුඹේ මවුත් නුඹලා නූපන් අන් දේශයකට හෙළාදමන්නෙමි. එහි දී නුඹලා මැරෙනු ඇත.</verse>
				<verse number="27">නුඹලා ආපසු එන්නට ආශා කරන දේශයට නුඹලා පෙරළා නොඑන්නහු ය.”</verse>
				<verse number="28">ජෙරමියා මෙසේ කී ය: “ජෙකොනියා කමකට නැති, බිඳුණු බඳුනක් ද? ඔහු කිසිවෙකුට පලක් නැති බඳුනක් ද? ඔහු සහ ඔහුගේ වංශය ප්‍රතික්ෂේප කරනු ලැබ, ඔවුන් නොදන්න දේශයකට නෙරපා දමනු ලබන්නේ කුමක්නිසා ද?</verse>
				<verse number="29">එම්බා දේශය, දේශය, දේශය, සමිඳාණන් වහන්සේ කියන මේ වචනයට සවන් දෙන්න.</verse>
				<verse number="30">‘මේ මිනිසා දරුවන් නැති, තම ජීවිත කාලයේ දී කිසි සඵලයක් නොලැබූ මිනිසෙකැ’යි කියන්න. මන්ද, ඔහුගේ වංශයේ කිසිවෙකුට තවත් දාවිත්ගේ සිංහාසනයේ හිඳ ජුදා දේශයෙහි රජකම් කිරීමට නොලැබෙන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
			</chapter>
			<chapter number="23">
				<verse number="1">“මාගේ තණ බිමේ පෝෂණය වන බැටළුවන් වනසා විසුරුවා හරින එඬේරුන් පිට සමිඳාණන් වහන්සේගෙන් පැමිණෙන විපතක මහත!</verse>
				<verse number="2">මාගේ සෙනඟ පෝෂණය කළ යුතු මේ එඬේරුන් ගැන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ වදාරන දේට සවන් දෙන්න, ‘නුඹලා මාගේ බැටළුවන් රැක බලා නොගෙන, ඔවුන් විසුරුවා පන්නාදැමුවහු ය. දැන් මම නුඹලාගේ නපුරු ක්‍රියා නිසා නුඹලාට දඬුවම් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="3">එහෙත්, මාගේ රැළෙන් ඉතිරි වන්නන් මා විසින් ඔවුන් පන්නාදමනු ලැබූ සියලු දේශවලින් මම ම රැස් කර නැවත ඔවුන්ගේ ගාලට ගෙනෙන්නෙමි; ඔව්හු බෝ වී වැඩි වන්නෝ ය.</verse>
				<verse number="4">ඔවුන් පෝෂණය කරන පිණිස මම එඬේරුන් පත් කරන්නෙමි. ඔව්හු තවත් බිය නොවන්නෝ ය; නොකැළඹෙන්නෝ ය. ඔවුන්ගෙන් එකෙක් වත් නැති නොවන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="5">“ස්වාමීන් වන මම මෙසේ වදාරමි: දාවිත්ගේ පෙළපතින් දැහැමි රජ කෙනෙකු නැඟී එන කාලය පැමිණෙන්නේ ය. එතුමාණන් නැණනුවණින් රජකම් කරමින්, දැහැමිකමත් යුක්තියත් දේශය මුළුල්ලේ ඉටු කරනු ඇත.</verse>
				<verse number="6">එතුමන්ගේ රජ දවස, ජුදා ගළවනු ලබන්නෝ ය. ඉශ්රායෙල්වරු සුරැකි ව වසන්නෝ ය. ‘අපේ දැහැමිතාව’ යන්නෙන් එතුමාණෝ නම් කරනු ලබන්නාහ.</verse>
				<verse number="7">“ස්වාමීන් වන මම මෙසේ වදාරන්නෙමි: ‘ඉශ්රායෙල් සෙනඟ මිසර දේශයෙන් ගෙනා ජීවමාන සමිඳාණන් වහන්සේ නමින් අපි දිවුරමු’යි නොකියන කාලය පැමිණෙන්නේ ය.</verse>
				<verse number="8">ඒ වෙනුවට ‘ඉශ්රායෙල් සෙනඟ උතුරු දේශයෙන් ද ඔවුන් පන්නාදමනු ලැබූ සියලු දේශවලින් ද ගෙනා සමිඳාණන් වහන්සේගේ නමින් අපි දිවුරමු’යි කියන කාලය පැමිණෙන්නේ ය. ඔව්හු තමන්ගේ ම දේශයේ වාසය කරන්නෝ ය.”</verse>
				<verse number="9">මේ දිවැසිවරුන් පිළිබඳ ව මාගේ සිත බිඳී මාගේ ඇටකටු සැලෙනු ඇත. සමිඳාණන් වහන්සේ නිසාත්, උන් වහන්සේගේ ශුද්ධ වචනය නිසාත් මම මත් වී සිටින්නෙකු වැනි ය; මුද්‍රික පානයෙන් වෙරිමත් වී සිටින්නෙකු වැනි ය.</verse>
				<verse number="10">මන්ද, දේශය කාමමිථ්‍යාචාරිකයන්ගෙන් පිරී ඇත; සාපයක් නිසා දේශය වැලපෙයි; පාළුකරයේ තණ බිම් වියළී ඇත; ඔවුන්ගේ හැසිරීම නපුරු ය. ඔව්හු සිය බලය වැරදි ලෙස භාවිත කරති.</verse>
				<verse number="11">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “දිවැසිවරයා හා පූජකයා දූෂ්‍ය වී සිටිති. මාගේ මැදුරෙහි ඔවුන්ගේ නපුරුකම මට දක්නට ලැබී ඇත.</verse>
				<verse number="12">ඔවුන්ගේ මාර්ග අඳුරේ දී ලිස්සන සුළු ඒවා මෙන් වේ. ඔව්හු ඒවාට පන්නාදමනු ලැබ එහි වැටෙන්නෝ ය. ඔවුන්ට දඬුවම් කිරීමේ කාලය පැමිණි විට මම ඔවුන් පිට විපත් පමුණුවන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="13">සමාරියේ දිවැසිවරුන් අතරේ පිළිකුල් කටයුතු දේ මා දැක ඇත. ඔව්හු බාල් දෙවියාගේ නාමයෙන් දිවැස් වැකි කියා මාගේ ම ඉශ්රායෙල් සෙනඟ මුළා කළහ.</verse>
				<verse number="14">ජෙරුසලමේ දිවැසිවරුන් අතරේ ඉතා භයානක දේ මා දැක ඇත. ඔව්හු කාමමිථ්‍යාචාරය කරති; බොරු කියති; නපුර කිරීමෙන් වැළකෙන්නට බැරි පමණට වැරදි කරන්නට සෙනඟ පොළඹවති. ඔවුන් සියල්ලන් ම මට පෙනෙන්නේ සොදොම් හා ගොමොරා වැසියන් මෙනි.</verse>
				<verse number="15">“එබැවින් සියලු බලැති ස්වාමීන් වන මම, ජෙරුසලමේ දිවැසිවරුන් ගැන මෙසේ කියමි: මම ඔවුන්ට තිත්ත කදුරු කවන්නෙමි. වස දිය පොවන්නෙමි. මන්ද, දේශය මුළුල්ලේ ම ජෙරුසලමේ දිවැසිවරුන්ගෙන් දූෂණ පැතිර ගොස් ඇත.</verse>
				<verse number="16">“සියලු බලැති සමිඳාණන් වහන්සේ ජෙරුසලමේ සෙනඟට මෙසේ වදාරන සේක: දිවැසිවරුන් බොරු බලාපොරොත්තුවලින් නුඹලා පුරවා ඇති නිසා ඔවුන්ට සවන් නොදෙන්න. ඔවුන් නුඹලාට කියන්නේ, තමන්ගේ සිතෙන් මවාගත් දේ මිස මා ඔවුන්ට කී දේ නොවේ.</verse>
				<verse number="17">මාගේ වචනය හෙළා දකින අයට ඔව්හු, ‘නුඹලාට ශුභසිද්ධ වේ වා!’යි කියති. මුරණ්ඩු සිතින් සිය කැමැත්ත අනුව යන අයට ඔව්හු, ‘නුඹලාට කිසි විපතක් නොවේ ය’යි කියති.</verse>
				<verse number="18">“මේ දිවැසිවරුන් අතරේ සමිඳාණන් වහන්සේගේ අභ්‍යන්තර අදහස් දැනගත්, උන් වහන්සේගේ පණිවුඩය තේරුම්ගත්, උන් වහන්සේගේ වචනයට සවන් දී එය සිතට ගත් කිසිවෙක් සිටිත් දැ”යි ජෙරමියා ඇසී ය.</verse>
				<verse number="19">“බලන්න, සමිඳාණන් වහන්සේගේ උදහස දරුණු සුළි සුළඟක් මෙන් හමමින්, දුෂ්ටයන්ගේ හිස මත කඩා වැටෙයි.</verse>
				<verse number="20">සමිඳාණන් වහන්සේ සිය අභිප්‍රායයන් ඉටු කර සම්පූර්ණ කරන තුරු උන් වහන්සේගේ කෝපය නොනිවෙන්නේ ය. මතු කාලයේ දී උන් වහන්සේගේ සෙනඟ එය මැනවින් තේරුම්ගනු ඇතැ”යි ඔහු කීවේ ය.</verse>
				<verse number="21">සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මා මේ දිවැසිවරුන් නොයැවූ නමුත්, ඔව්හු සැණෙන් පලා ගියහ. මා ඔවුන්ට කතා නොකළ නමුත්, ඔව්හු දිවැස් දෙසූ හ.</verse>
				<verse number="22">ඔව්හු මාගේ උවදෙස් දැන සිටියෝ නම්, මාගේ පණිවුඩය මාගේ සෙනඟට ප්‍රකාශ කර, ඔවුන්ගේ නපුරු ගතිපැවතුම්වලින් ඔවුන් හරවන්නට ඔවුන්ට ඉඩ තිබිණි.</verse>
				<verse number="23">“මම දුර සිටින දෙවි කෙනෙකු මෙන් ම, ළඟ සිටින දෙවි කෙනෙක් ද වෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="24">මට නොපෙනෙන තැනක සැඟවීමට කිසිවෙකුට නොහැකි ය. මා ස්වර්ගයේත්, පොළොවේත් සෑම තැන ම වැඩ සිටින බව නුඹලා නොදන්නහු ද?</verse>
				<verse number="25">‘මම සිහිනයක් දිටිමි, සිහිනයක් දිටිමි’ කියමින් මාගේ නාමයෙන් බොරුවට දිවැස් වැකි කියන දිවැසිවරුන්ගේ කියුම් මා අසා ඇත.</verse>
				<verse number="26">බොරුවට දිවැස් වැකි කියන, තමන්ගේ සිත්හි මවාගත් දේ දිවැස් වැකි වශයෙන් පවසන, දිවැසිවරුන්ගේ සිත්වල මුසාව කොතෙක් කල් පවතී ද?</verse>
				<verse number="27">මේ සෙනඟගේ පියවරුන් මා අමතක කර බාල් දෙවියා වෙත හැරුණාක් මෙන්, දිවැසිවරු තමන් එකිනෙකාට කියන සිහින කරණකොටගෙන මාගේ සෙනඟට මා අමතක කරන්න සැලැස්වීමට අභිප්‍රාය කරති.</verse>
				<verse number="28">සිහිනයක් දුටු දිවැසිවරයා එය තමාගේ ස්වප්නයක් බව කිව යුතු ය. මාගේ පණිවුඩයක් ලත් තැනැත්තා එය විශ්වාසවන්ත ලෙස ප්‍රකාශ කළ යුතු ය. පිදුරුත්, ධාන්‍යත් අතර ඇති සමානකම කුමක් ද?</verse>
				<verse number="29">මාගේ පණිවුඩය වූකලී ගින්නක් වැනි ය; පර්වත පොඩි කරන කුළුගෙඩියක් වැනි ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="30">මාගෙන් ලැබූ වචනය යයි කියමින් එකිනෙකාගෙන් හොරා ගත් වචන ප්‍රකාශ කරන මේ දිවැසිවරුන්ට මම විරුද්ධ වෙමි.</verse>
				<verse number="31">තවද, ‘සමිඳාණන් වහන්සේ වදාළ සේකැ’යි කියමින් තමන්ගේ ම වචන පවසන දිවැසිවරුන්ටත් මම විරුද්ධ වෙමි.</verse>
				<verse number="32">ස්වාමීන් වන මා වදාරන දේට සවන් දෙන්න. බොරු සිහින දිවැස් කීම් වශයෙන් ප්‍රකාශ කරමින්, තමන්ගේ බොරුවලින් ද හිස් පාරට්ටුවෙන් ද මාගේ සෙනඟ මුළා කරන දිවැසිවරුන්ට මම විරුද්ධ වෙමි. මම ඔවුන් නොයැව්වෙමි. ඔවුන්ට අණ නොකෙළෙමි. ඔවුන්ගෙන් මේ සෙනඟට කිසි ප්‍රයෝජනයක් නොවන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
				<verse number="33">“ජෙරමියා, මාගේ සෙනඟගෙන් කෙනෙකු වත්, දිවැසිවරයෙකු වත්, පූජකයෙකු වත් නුඹ අමතා, ‘සමිඳාණන් වහන්සේගේ පණිවුඩය කුමක් දැ’යි නුඹෙන් ඇසුවොත්, ‘නුඹලා උන් වහන්සේට බරක් වී ඇතැ’යි ද ‘උන් වහන්සේ නුඹලා ඉවතදමන සේකැ’යි ද ඔවුන්ට කියන්න.</verse>
				<verse number="34">එහෙත්, දිවැසිවරයෙකු හෝ පූජකයෙකු හෝ සෙනඟගෙන් කෙනෙකු හෝ, ‘සමිඳාණන් වහන්සේගේ වචනය සිතට බරක් ය’යි කීවොත්, මම ඔහුටත්, ඔහුගේ පවුලටත් දඬුවම් කරමි.</verse>
				<verse number="35">ඒ වෙනුවට, නුඹලා එකිනෙකා, ‘සමිඳාණන් වහන්සේ දී ඇති පිළිතුර කුමක් ද, සමිඳාණන් වහන්සේ කුමක් වදාළ සේක් ද’ කියා තමන්ගේ අසල්වැසියන්ගෙන් හා ඥාතීන්ගෙන් ඇසිය යුතු ය.</verse>
				<verse number="36">‘සමිඳාණන් වහන්සේගේ පණිවුඩය සිතට බරක් ය’යි ඔවුන් තවත් නොකිය යුතු ය. ‘සිතට බරක්’ වන්නේ නුඹලා එකිනෙකාගේ වචන ය. නුඹලා ජීවමාන දෙවියන් වන, සියලු බලැති ස්වාමීන් වන තමන්ගේ දෙවියන් වහන්සේගේ වචන දූෂණ කළහු ය.</verse>
				<verse number="37">ජෙරමියා, දිවැසිවරුන් අමතා, ‘සමිඳාණන් වහන්සේ දුන් පිළිතුර කුමක් ද, උන් වහන්සේ කුමක් වදාළ සේක් ද’ කියා අසන්න.</verse>
				<verse number="38">ඔවුන් පිළිතුරු දෙමින්, ‘සමිඳාණන් වහන්සේගේ පණිවුඩය බරක් යැ’යි කීවොත්, ‘එසේ නොකියන්නැ’යි මා ඔවුන්ට කී නමුත්, ඔවුන් එසේ කී බැවින්,</verse>
				<verse number="39">‘මම ඔවුන්ටත්, ඔවුන්ගේ පියවරුන්ටත් දුන් නගරය ද ඔවුන් ද සහමුලින් ම උදුරාදමා මා කෙරෙන් ඉවතට විසි කරන්නෙමි’යි ඔවුන්ට කියන්න.</verse>
				<verse number="40">කවදාවත් අමතක නොවන සදාකාල නින්දාවක් ද නිරන්තර අපකීර්තියක් ද ඔවුන් පිට මම පමුණුවන්නෙමි.”</verse>
			</chapter>
			<chapter number="24">
				<verse number="1">දේව මාලිගාව ඉදිරිපිට තබා තිබෙන අත්තික්කා ගෙඩි පුරවන ලද කූඩ දෙකක් සමිඳාණන් වහන්සේ මට පෙන්වූ සේක. මේ දර්ශනය සමිඳාණන් වහන්සේ පෙන්වූයේ, බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් විසින් ජෙහෝයාකිම්ගේ පුත් ජුදාහි රජු වූ ජෙකොනියා ද ජුදාහි අධිපතීන් ද කම්හල්කරුවන් ද ලෝහකරුවන් ද ජෙරුසලමෙන් අල්ලාගෙන බබිලෝනියට ගෙනයනු ලැබුවාට පසුව ය.</verse>
				<verse number="2">එක කූඩයක කලින් ඉදෙන, හොඳ අත්තික්කා පල තිබුණේ ය. අනික් කූඩයේ කන්නට බැරි තරම් ඉතා නරක අත්තික්කා තිබුණේ ය.</verse>
				<verse number="3">එවිට සමිඳාණන් වහන්සේ “ජෙරමියා, නුඹට කුමක් පෙනේ දැ”යි මාගෙන් ඇසූ සේක. මම පිළිතුරු දෙමින්, “අත්තික්කා ය; හොඳ අත්තික්කා ඉතා හොඳ ය; නරක ඒවා කන්න බැරි තරම් ඉතා නරක ය”යි කීවෙමි.</verse>
				<verse number="4">සමිඳාණන් වහන්සේ මා අමතා මෙසේ වදාළ සේක:</verse>
				<verse number="5">“ඉශ්රායෙල්හි දෙවි ස්වාමීන් වන මම බබිලෝනියට යවනු ලැබූ යහපත් ජුදෙව්වරුන් මේ හොඳ අත්තික්කා මෙන් වන්නට සලසමි.</verse>
				<verse number="6">මම ඔවුන් මැනවින් රැකබලාගෙන ආපසු මේ දේශයට ගෙනෙන්නෙමි; ඔවුන් හෙළා නොදමා වර්ධනය කරන්නෙමි. ඔවුන් උදුරා නොදමා පිහිටුවන්නෙමි.</verse>
				<verse number="7">මා සමිඳාණන් වහන්සේ බව දැනගන්න පිණිස ඔවුන්ගේ සිත් පහදන්නෙමි. එවිට ඔවුන් මුළු සිතින් ම මා වෙත හැරෙන බැවින් ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මම ඔවුන්ගේ සමිඳාණන් වහන්සේ වන්නෙමි.</verse>
				<verse number="8">“එහෙත්, ජුදාහි රජු වන ශෙදෙකියා ද ඔහුගේ අධිපතීන් ද මේ දේශයේ ඉතිරි ව සිටින ජෙරුසලමේ සෙසු අය ද මිසර දේශයේ වාසය කරන්නන් ද ස්වාමීන් වන මම, කන්නට බැරි අර නරක අත්තික්කා මෙන් වන්නට සලසමි.</verse>
				<verse number="9">ලොවේ සියලු ජාතීන් තැති ගන්වන සුලු විනාශයක් මම ඔවුන් පිට පමුණුවන්නෙමි. විජාතීන් ඉදිරියෙහි ඔවුන්ට නින්දාව ද සමච්චලය ද සරදම ද ඇත; මා ඔවුන් විසුරුවා හරින සෑම තැන්හි ම ඔවුන් සාපයක් වනු ඇත.</verse>
				<verse number="10">මා ඔවුන්ටත්, ඔවුන්ගේ පියවරුන්ටත් දුන් දේශයේ කිසිවෙකු ඉතිරි නොවන ලෙස යුද්ධයත්, සාගතයත්, වසංගතයත් ඔවුන් කෙරෙහි පමුණුවන්නෙමි.”</verse>
			</chapter>
			<chapter number="25">
				<verse number="1">ජොෂියාගේ පුත් ජුදාහි රජු වූ ජෙහෝයාකිම්ගේ සතර වන අවුරුද්දේ ජුදාහි සෙනඟ සම්බන්ධයෙන් ජෙරමියා වෙත සමිඳාණන් වහන්සේගෙන් පැමුණුණ පණිවුඩය මෙය වේ. එය බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර්ගේ පළමු වන අවුරුද්ද විය.</verse>
				<verse number="2">දිවැසිවර ජෙරමියා ඒ පණිවුඩය ජුදාහි මුළු සෙනඟටත්, ජෙරුසලමේ සියලු වැසියන්ටත් මෙසේ ප්‍රකාශ කෙළේ ය:</verse>
				<verse number="3">“ආමොන්ගේ පුත් ජුදාහි රජු වූ ජොෂියාගේ දහතුන් වන අවුරුද්දේ පටන් අද දක්වා මේ අවුරුදු විසිතුනේ ම සමිඳාණන් වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය. මම ද නිරන්තරයෙන් එය ඔබට ප්‍රකාශ කෙළෙමි. එහෙත්, ඔබ සවන් දුන්නේ නැත.</verse>
				<verse number="4">තවද, සමිඳාණන් වහන්සේ තමන්ගේ සියලු සේවකයන් වූ දිවැසිවරුන් නිරන්තරයෙන් ඔබ වෙත එවූ නමුත්, ඔබ ඔවුන්ට සවන් දුන්නේ වත්, ඔවුන් කී දේ සිතට ගත්තේ වත් නැත.</verse>
				<verse number="5">ඔව්හු ඔබ අමතා, ‘සමිඳාණන් වහන්සේ ඔබටත්, ඔබේ පියවරුන්ටත් පුරාණයේ සිට සදාකාලයට ම දුන් දේශයෙහි ඔබ වාසය කරන පිණිස ඔබ හැම දෙනා ම ඔබේ අධම ජීවිතයෙන් ද නපුරු ක්‍රියාවලින් ද හැරී ආ යුතු ය’යි ද</verse>
				<verse number="6">‘අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් නොකරන්න. ඔවුන්ට නමස්කාර නොකරන්න; ඔබේ අත්වලින් සාදාගත් දේව රූප නැමදීමෙන් දෙවියන් වහන්සේ ප්‍රකෝප නොකරන්න. එවිට මම නුඹලාට අනතුරක් නොකරමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ යි ද කී හ.</verse>
				<verse number="7">‘එහෙත්, නුඹලා මට සවන් නොදී, ඒ වෙනුවට නුඹලාගේ අත්වලින් තනාගත් රූප කරණකොටගෙන මා කෝප කරවා, නුඹලා ම තමන් පිට මේ දඬුවම පමුණුවා ගත්තහු ය’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="8">“ඔබ සමිඳාණන් වහන්සේගේ වචනයට සවන් නොදෙන නිසා සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:</verse>
				<verse number="9">මම උතුරු දිශාවේ සියලු ජාතීන් ද බබිලෝනියේ රජු වන මාගේ සේවක නෙබුකද්නෙශර් ද ගෙන්වන්නෙමි. මා ඔවුන් ගෙන්වන්නේ, මේ දේශයට හා මෙහි වැසියන්ටත්, අවට ජාතීන්ටත් විරුද්ධ ව සටන් කරන පිණිස ය. මම සහමුලින් ම ඔවුන් විනාශ කරන්නෙමි. ඔව්හු නින්දාවට ද සමච්චලයට ද සදා අපවාදයට ද භාජන වන්නෝ ය.</verse>
				<verse number="10">ඇරත් මම ඔවුන්ගේ ප්‍රීති ප්‍රමෝදයේ හඬ ද මනාලයා හා මනාලියගේ හඬ ද ඇඹරුම් ගල්වල ශබ්දය සහ පහනේ එළිය ද ඔවුන් අතරෙන් නැති කරන්නෙමි.</verse>
				<verse number="11">මේ මුළු දේශය විනාශ වී නටබුන් ගොඩක් වන්නේ ය. මේ ජාතීහු බබිලෝනියේ රජුට සැත්තෑ අවුරුද්දක් සේවය කරන්නෝ ය.</verse>
				<verse number="12">තවද, සැත්තෑ අවුරුද්දක් ගත වූ පසු, බබිලෝනියේ රජුටත්, ඒ ජාතියටත් ඔවුන්ගේ අයුතුකම් නිසා මම දඬුවම් කරන්නෙමි. ඒ දේශය සදාකාල පාළු තැනක් කරන්නෙමි.</verse>
				<verse number="13">මා ඒ දේශයට විරුද්ධ ව ප්‍රකාශ කළ සියලු දේ එනම්, මේ පොතේ සඳහන් කර ඇති, ජෙරමියා කී සියලු දේ ඒ දේශය පිට පමුණුවන්නෙමි.</verse>
				<verse number="14">බොහෝ ජාතීහු ද බලසම්පන්න රජවරු ද ඔවුන් වහල්කමට ගන්නෝ ය. මම ද ඔවුන්ගේ හැසිරීම හා ක්‍රියා අනුව ඔවුන්ට ප්‍රතිවිපාක දෙන්නෙමි.”</verse>
				<verse number="15">ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මට කතා කොට, “කෝපය නමැති මිදියුස කුසලාන නුඹ මාගේ අතින් රැගෙන මා නුඹ පිටත් කර යවන සියලු ජාතීන්ට එයින් පොවන්න.</verse>
				<verse number="16">ඔව්හු එයින් බී වැනි වැනී ගමන් කරන්නෝ ය. මා ඔවුන් පිට පමුණුවන යුද්ධය නිසා, ඔව්හු උමතු වන්නෝ ය”යි වදාළ සේක.</verse>
				<verse number="17">එවිට මම සමිඳාණන් වහන්සේගේ අතින් කුසලාන රැගෙන සමිඳාණන් වහන්සේ මා යැවූ සියලු ජාතීන්ට එයින් පෙව්වෙමි.</verse>
				<verse number="18">එයින් ජෙරුසලමේ සහ ජුදා නගරවල රජවරුන් ද අධිපතීන් ද අද පවා දකින්නට ලැබෙන ලෙස පාළුවට හා විනාශයට ද සාපයට හා සරදමට ද භාජන වනු ඇත. සිදු වී ඇති දේ අද දක්වා දක්නට ඇත.</verse>
				<verse number="19">මිසරයේ රජු වන පාරාවෝටත්, ඔහුගේ සේවකයන්ටත්, අධිපතීන්ටත්, ඔහුගේ මුළු සෙනඟටත්,</verse>
				<verse number="20">අන්‍ය ජාතික මුළු සේනාවටත්, ඌස් දේශයේ සියලු රජවරුන්ටත්, පිලිස්තිවරුන්ගේ දේශයේ සියලු රජවරුන්ටත්, අෂ්කෙලෝන්, ගාසා සහ එක්‍රෝ‍්න් යන නගරවලටත්, අෂ්දොද්හි ඉතිරි අයටත්,</verse>
				<verse number="21">ඒදොම් සහ මෝවබ්ටත්, අම්මොන් පුත්‍රයන්ටත්,</verse>
				<verse number="22">තීර්හි හා සීදොන්හි සියලු රජුන්ටත්, මුහුදුබඩ පළාත්වල රජවරුන්ටත්,</verse>
				<verse number="23">දෙදාන්, තෙමාන් හා බුස් යන නගරවලටත්, තමන්ගේ ඉසකේ කොටට කපන සියල්ලන්ටත්,</verse>
				<verse number="24">අරාබියේ සියලු රජවරුන්ටත්, කාන්තාරයෙහි වාසය කරන අන් ජාතික සියලු රජවරුන්ටත්,</verse>
				<verse number="25">සිම්රිහි, ඒලාම්හි සහ මේදියාවේ සියලු රජුන්ටත්,</verse>
				<verse number="26">එකිනෙකාට සමීප ව සිටින්නන් සහ දුර ව සිටින්නන් වන උතුරු දිශාවේ සියලු රජුන්ටත්, පොළොව මතුපිට තිබෙන ලෝකයේ සියලු රාජ්‍යවලටත්, මේ කුසලානෙන් පෙව්වෙමි; මොවුන්ට පසු ව බබිලෝනියේ රජු එයින් පානය කරනු ඇත.</verse>
				<verse number="27">එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “නුඹ ඔවුන්ට කතා කොට, ‘නුඹලා බීමත් වී වමනය කොට, මා විසින් නුඹලා අතරට එවනු ලබන යුද්ධය නිසා වැටී නොනැඟිට සිටින්නැ යි ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේකැ’යි කියන්න.</verse>
				<verse number="28">එවිට ඔව්හු බොන පිණිස නුඹේ අතින් කුසලාන ගන්නට අකමැති වන්නෝ නම්, ‘ඔවුන් බොන්නට ම ඕනෑ යයි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්න.</verse>
				<verse number="29">‘මෙන්න මාගේ නාමය තබා තිබෙන නගරයට විපත්ති පමුණුවන්ට මම පටන්ගනිමි; එසේ නම්, නුඹලා දඬුවම් නොලැබ සිටිනු ඇතැ යි නුඹ සිතන්නෙහි ද? නැත. පොළොවේ සියලු වැසියන්ට විරුද්ධ ව මා යුද්ධයක් හටගන්වන නිසා නුඹලා දඬුවම් නොලැබ නොසිටින්නෝ ය. මෙසේ පවසන්නේ, සියලු බලැති ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="30">“ජෙරමියා, මා නුඹට කී සියලු දේ නුඹ ඔවුන්ට ප්‍රකාශ කළ යුතු ය. ඔවුන්ට මෙසේ දිවැස් වැකි කියන්න: ‘සමිඳාණන් වහන්සේ උසස් ස්ථානයේ සිට ගර්ජනා කොට, තමන්ගේ ශුද්ධ වාසස්ථානයේ සිට හඬ නඟන සේක. උන් වහන්සේ තමන් සෙනඟට විරුද්ධ ව බලවත් ලෙස ගර්ජනා කරන සේක. මුද්‍රික පල මඬින්නන් මෙන් සියලු පොළෝ වැසියන්ට විරුද්ධ ව ඝෝෂාවක් කරන සේක;</verse>
				<verse number="31">මහා ශබ්දයක් පොළොවේ සීමාන්තයන් දක්වා පැමිණෙන්නේ ය; උන් වහන්සේ ජාතීන්ට විරුද්ධ ව පැමිණිල්ලක් කර ඇත. ජීවත් ව සිටින සියල්ලන් උන් වහන්සේ විනිශ්චයයට පමුණුවන සේක. දුෂ්ටයන් මරණයට පාවා දෙන සේක. මෙසේ පවසන්නේ, ස්වාමීන් වන මම ය.’</verse>
				<verse number="32">“ ‘ජාතියක් ජාතියක් පාසා විපතට පැමිණෙන්නේ ය’යි ද ‘ඉමහත් කුණාටුවක් පොළොවේ ඉතා දුර තැන්වලින් නඟින්නේ ය’යි ද සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="33">සමිඳාණන් වහන්සේ විසින් මරනු ලබන අය ඒ දවසේ දී පොළොවේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා වැටී සිටිනු ඇත. ඔවුන් ගැන වැලපෙන්නට කිසිවෙක් නොවෙති; වළලනු පිණිස ඔවුන්ගේ මළ සිරුරු රැගෙන යාමට කිසිවෙක් නොසිටිති. ඒවා භූමිය මතු පිට කසළ මෙන් විසිරී තිබෙනු ඇත.</verse>
				<verse number="34">“නායකයෙනි, කෑ මොරගසන්න; සෙනඟගේ ප්‍රධානියෙනි, අළුවල පෙරළී හඬන්න. මාරක විපත් කාලය ද විසිර යෑමේ කාලය ද ළඟා වී ඇත. තෝරාගත් බැටළුවන් මෙන් නුඹලා ඝාතනය කරනු ලබන්නහු ය.</verse>
				<verse number="35">නායකයන්ට රැකවරණය සොයන්නට වත්, පලා යන්නට වත්, ප්‍රධානීන්ට ගැළවී යන්නට වත් නොලැබෙන්නේ ය.</verse>
				<verse number="36">නායකයන්ගේ කෑ මොරගැසීම ද සෙනඟගේ ප්‍රධානීන්ගේ හැඬීම ද ඇසෙන්නේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ දේශය විනාශ කර ඇත.</verse>
				<verse number="37">සාමයෙන් පැවති ඔවුන්ගේ දේශය සමිඳාණන් වහන්සේගේ කෝපය කරණකොටගෙන විනාශයට පත් වී ඇත.</verse>
				<verse number="38">සිංහයා සිය ගුහාව අත්හැර යන්නාක් මෙන් සමිඳාණන් වහන්සේ සිය දේශය අත්හැරදමන සේක. භයානක යුද්ධය නිසා ද සමිඳාණන් වහන්සේගේ දැඩි කෝපය නිසා ද ඔවුන්ගේ දේශය පාළුකරයක් වී ඇත.”</verse>
			</chapter>
			<chapter number="26">
				<verse number="1">ජොෂියාගේ පුත් ජුදාහි රජු වූ ජෙහෝයාකිම්ගේ රජ සමය මුල දී, සමිඳාණන් වහන්සේගේ වචනය ජෙරමියා වෙත පැමිණියේ ය.</verse>
				<verse number="2">සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “නුඹ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මළුවේ සිට, ජුදාහි නගරවලින් නමස්කාර කරන්නට එන සියලු දෙනාට මා නුඹට අණ කළ සියලු වචන කියන්න; වචන මාත්‍රයක් වත් අඩු නොකර කියන්න.</verse>
				<verse number="3">සමහර විට ඔවුන් එය අසා එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරෙනු ඇත. එවිට මම ඔවුන්ගේ නපුරු ක්‍රියා නිසා ඔවුන්ට පමුණුවන්නට අදහස් කළ විපත්ති ගැන මාගේ සිත වෙනස් කරගන්නෙමි.</verse>
				<verse number="4">“සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක කියා ඔවුන්ට කියන්න. ‘මාගේ වචනයට සවන් නොදී, මා නුඹලා ඉදිරියෙහි තබා තිබෙන ව්‍යවස්ථාවට අනුකූල ව නුඹලා නොහැසිරෙන්නහු නම්,</verse>
				<verse number="5">නිරන්තරයෙන් ම මා නුඹලා වෙත එවූ මාගේ සේවකයන් වන දිවැසිවරුන්ගේ පණිවුඩය නොසලකන්නහු නම්,</verse>
				<verse number="6">එවිට, මම ෂිලෝවට කළ දේ මේ දේව මාලිගාවටත් කරන්නෙමි. ලොවේ සියලු ජාතීන් මේ නගරයේ නම සාපවචනයක් වශයෙන් ව්‍යවහාර කිරීමට සලසන්නෙමි.’ “</verse>
				<verse number="7">ජෙරමියා දේව මාලිගාවේ දී කී මේ වචන පූජකයෝ ද දිවැසිවරු ද සියලු සෙනඟ ද ඇසුවෝ ය.</verse>
				<verse number="8">මුළු සෙනඟට කියන්නට සමිඳාණන් වහන්සේ අණ කළ සියල්ල ජෙරමියා කියා නිම කළ විට, පූජකයෝ ද දිවැසිවරු ද මුළු සෙනඟ ද ඔහු අල්ලාගෙන, “ඔබ මරණයට පත් කළ යුතු ය.</verse>
				<verse number="9">‘මේ දේව මාලිගාව ෂිලෝ මෙන් වන්නේ ය’ කියාත්, ‘මේ නුවර වැසියන් නොසිටින හැටියට පාළු වන්නේ ය’ කියාත් සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔබ දිවැස් වැකි කීවේ මන්දැ”යි ඇසූ හ. එවිට මුළු සෙනඟ ජෙරමියාට විරුද්ධ ව ඔහු වටකරගෙන දේව මාලිගාවේ රොක් වූ හ.</verse>
				<verse number="10">ජුදාහි අධිපතීහු ඒ කාරණය අසා, රජ ගෙදර සිට සමිඳාණන් වහන්සේගේ මාලිගාවට අවුත්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අලුත් දොරටුවෙහි ඇතුළු වන තැන අසුන්ගත්හ.</verse>
				<verse number="11">එවිට පූජකයෝ ද දිවැසිවරු ද අධිපතීන්ටත්, මුළු සෙනඟටත් කතා කොට, “මේ මිනිසා මරණීය තීන්දුව ලැබිය යුතු ය. මන්ද, ඔබ හැමගේ කන්වලින් ඔබ ඇසූ පරිදි මොහු මේ නගරයට විරුද්ධ ව දිවැස් වැකි කීවේ ය”යි කී හ.</verse>
				<verse number="12">එවිට ජෙරමියා සියලු ම අධිපතීන් හා මුළු සෙනඟ අමතා මෙසේ කී ය: “ඔබ ඇසූ සියලු වචන දිවැස් වැකි වශයෙන් මේ දේව මාලිගාවටත්, නගරයටත්, ඔබ හැමටත් විරුද්ධ ව කියන්නට සමිඳාණන් වහන්සේ මා එවූ සේක.</verse>
				<verse number="13">එබැවින් දැන් ඔබ හැමගේ හැසිරීම හා ක්‍රියා කලාපය හැඩගස්වාගෙන ඔබේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට කීකරු වන්න. එවිට සමිඳාණන් වහන්සේ ඔබට විරුද්ධ ව ප්‍රකාශ කර තිබෙන විපත්ති ගැන සිය උදහස වෙනස් කරගන්න සේක.</verse>
				<verse number="14">මම දැන් ඔබේ අතෙහි ය. ඔබට සුදුසු යැ යි පෙනෙන හැටි මට කරන්න.</verse>
				<verse number="15">මේ දේ නම් සහතික ය. ඔබ මා මැරුවොත්, ඔබ හැම ද මේ නුවර සියලු ජනයා ද නිදොස් ලේ වැගිරීම ගැන වරදකාරයෝ වන්නෝ ය. මක්නිසා ද, සැබැවින් ම මේ සියලු දේ ඔබට කියන පිණිස සමිඳාණන් වහන්සේ මා එවූ බැවිනි.”</verse>
				<verse number="16">එවිට අධිපතීහු ද සෙනඟ ද පූජකයන් හා දිවැසිවරුන් අමතා, “මේ මිනිසාට මරණීය තීන්දුව දිය යුතු නැත. මන්ද, ඔහු අපට කතා කෙළේ, අපේ දෙවි ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ය”යි කී හ.</verse>
				<verse number="17">එකල දේශයේ ප්‍රජා මූලිකයෝ නැඟිට රැස්ව සිටි සෙනඟ අමතා මෙසේ කී හ:</verse>
				<verse number="18">“ජුදාහි රජු වූ හෙසකියාගේ කාලයේ දී මොරෂ්තියේ දිවැසිවර මීකා ජුදාහි මුළු සෙනඟට කතා කොට, ‘සියොන් කෙතක් මෙන් හානු ලබන්නේ ය; ජෙරුසලම නටබුන් ගොඩක් වන්නේ ය; දේව මාලිගාව ඇති කන්ද කැළෑවක් වන්නේ යයි සමිඳාණන් වහන්සේ වදාළ සේකැ’යි කී ය.</verse>
				<verse number="19">එහෙත්, ජුදාවේ රජු වූ හෙසකියා සහ සියලු ජුදාවරු ඔහු මැරුවෝ ද? ඒ වෙනුවට හෙසකියා සමිඳාණන් වහන්සේට බිය වී උන් වහන්සේට කන්නලව් කෙළේ නැද් ද? සමිඳාණන් වහන්සේ ද ඔවුන්ට විරුද්ධ ව ප්‍රකාශ කළ විපත ගැන සිය අදහස් වෙනස් කළ සේක. දැන් අප, අප පිට ම දරුණු විපතක් පමුණුවාගන්නට ළඟ ය.</verse>
				<verse number="20">“තවද, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවැස් වැකි පැවසූ කිරියත්-ජෙයාරිම්හි ෂෙමායාගේ පුත් උරියා නම් මිනිසෙක් විය. ඔහු ජෙරමියාගේ සියලු වචනවලට අනුකූල ව මේ නගරයටත්, මේ දේශයටත් විරුද්ධ ව දිවැස් වැකි කීවේ ය.</verse>
				<verse number="21">ජෙහෝයාකිම් රජු සහ ඔහුගේ සියලු බලවන්තයන් ද සියලු අධිපතීන් ද ඔහුගේ වචනය ඇසූ විට, රජ තෙමේ ඔහු මරන්නට සෙවී ය. උරියා ඒ අසා බිය ව පලා ගොස් මිසරයට පැමිණියේ ය.</verse>
				<verse number="22">එහෙත්, ජෙහෝයාකිම් රජ අක්බොර්ගේ පුත් එල්නාතාන් ද ඔහු සමඟ තවත් මිනිසුන් ද මිසරයට යැවී ය.</verse>
				<verse number="23">ඔව්හු උරියා මිසරයෙන් ආපසු ගෙනවුත් ජෙහෝයාකිම් රජු ළඟට පැමිණෙවුවෝ ය. රජ ද ඔහු කඩුවෙන් ගසා මරා, ඔහුගේ මළකඳ පොදු ජනයන්ගේ සොහොනක දැමුවේ ය.”</verse>
				<verse number="24">ජෙරමියා මරන පිණිස සෙනඟගේ අතට පාවා දෙනු නොලැබුවේ, ෂාපාන්ගේ පුත් අහිකාම්ගේ සහය ඔහුට තිබුණු බැවිනි.</verse>
			</chapter>
			<chapter number="27">
				<verse number="1">ජොෂියාගේ පුත් ජුදාහි රජ වූ ශෙදෙකියා රජකම් කරන්නට පටන්ගත් කාලයේ ද සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ජෙරමියා වෙත පැමිණියේ ය.</verse>
				<verse number="2">සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “වියබාන් හා වියගස් සාදාගෙන ඔහුගේ ගෙල වටේ දමාගන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="3">තවද, ජුදාහි රජු වූ ශෙදෙකියා බැහැදැකීම පිණිස ජෙරුසලමට පැමිණි තානාපතිවරුන් අත ඒදොම්, මෝවබ්, අම්මොන්, තීර්, සීදොන් යන රටවල රජවරුන් වෙත පණිවුඩයක් යවන්නට සමිඳාණන් වහන්සේ ජෙරමියාට වදාළ සේක.</verse>
				<verse number="4">“ඉශ්රායෙල්හි සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ ඒ රජවරුන්ට මෙසේ වදාරන සේකැ”යි ඒ තානාපතිවරුන්ට කියන ලෙස සමිඳාණන් වහන්සේ ජෙරමියාට වදාළ සේක.</verse>
				<verse number="5">ඒ කෙසේ ද යත්: “මම මාගේ ඉමහත් බලයෙන් ද පරාක්‍රමවත් බාහුවෙන් ද පොළොව සහ පොළොව මතුපිට සිටින මිනිසුන් ද තිරිසනුන් ද මැවීමි. මා කැමැති කෙනෙකුට මට ඒවා දිය හැකි ය.</verse>
				<verse number="6">මම මේ සියලු රටවල් මාගේ සේවක වන නෙබුකද්නෙශර්ගේ අතට පාවා දිනිමි. ඔහුට සේවය කරන පිණිස ගවමහිෂයන් පවා ඔහුට දිනිමි.</verse>
				<verse number="7">ඔහුගේ රටේ වැටීම ඇති වන තෙක්, සියලු ජාතීන් ඔහුටත්, ඔහුගේ පුත්‍රයන්ටත්, පුත්‍රයන්ගේ පුත්‍රයන්ටත් සේවය කරනු ඇත. ඉන්පසු ඔහුගේ රාජ්‍යය, බලවත් අන් රාජ්‍යයන්ටත්, උසස් රජවරුන්ටත් සේවය කරනු ඇත.</verse>
				<verse number="8">“යම් ජාතියක් හෝ රාජ්‍යයක් හෝ බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර්ට සේවය නොකරන්නේ නම්, ඔහුගේ පාලනය නමැති වියගහට කර තබන්නේ නැත්නම්, මා ඒ ජාතිය හෝ රාජ්‍යය හෝ නෙබුකද්නෙශර් ලවා වනසාදම්මන තුරු, මම එයට කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද දඬුවම් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="9">එබැවින්, ‘නුඹලා බබිලෝනියේ රජුට සේවය නොකරන්නැ’යි කියන නුඹලාගේ දිවැසිවරුන්ට ද පේන කියන්නන්ට ද සිහින දකින්නන්ට ද මායම්කාරයන්ට ද අනවිනකාරයන්ට ද සවන් නොදෙන්න.</verse>
				<verse number="10">එයින් සිදු වන්නේ, මුසාවෙන් ඔවුන් නුඹලා මුළා කිරීම වේ. නුඹලා මා විසින් නුඹලාගේ දේශයෙන් නෙරපා, පන්නා දමනු ලැබ විනාශයට පත් වන්නහු ය.</verse>
				<verse number="11">එහෙත්, බබිලෝනියේ රජුගේ පාලනය නමැති වියගහ කර තබාගෙන ඔහුට සේවය කරන ඕනෑ ම ජාතියකට සිය රටෙහි නැවතී, එය වගා කර, එහි වාසය කරන්නට මම ඉඩ හරින්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
				<verse number="12">ජුදාහි රජු වූ ශෙදෙකියාට ද ජෙරමියා එම දේ කීවේ ය. කෙසේ ද යත්, “බබිලෝනියේ රජුගේ පාලනය නමැති වියගහ ඔබේ කරට ගෙන ඔහුට සහ ඔහුගේ සෙනඟට සේවය කරන්න. එවිට ඔබ ජීවත් වන්නෙහි ය.</verse>
				<verse number="13">බබිලෝනියේ රජුට සේවය නොකරන ඕනෑ ම ජාතියක් සම්බන්ධයෙන් සමිඳාණන් වහන්සේ කියා ඇති පරිදි ඔබ සහ ඔබේ සෙනඟ කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද මැරෙන්නේ කුමට ද?</verse>
				<verse number="14">බබිලෝනියේ රජුට සේවය නොකරන්නැ යි කියන දිවැසිවරුන්ට සවන් නොදෙන්න. ඔව්හු ඔබට බොරු දිවැස් වැකි කියති.</verse>
				<verse number="15">සමිඳාණන් වහන්සේ ඒ දිවැසිවරුන් නොඑවූ බවත්, උන් වහන්සේගේ නමින් ඔවුන් බොරු කියන බවත් සමිඳාණන් වහන්සේ ම වදාළ සේක. ඒ නිසා, උන් වහන්සේ ඔබ ද ඔබට දිවැස් වැකි පවසන දිවැසිවරුන් ද පලවා හරින සේක. ඔබ සියල්ලන් ම මරු මුවට පත් වනු ඇත.”</verse>
				<verse number="16">එවිට ජෙරමියා, පූජකවරුන්ටත්, දිවැසිවරුන්ටත් කතා කරමින් මෙසේ කී ය: “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. දේව මාලිගාවේ භාණ්ඩ ඉක්මනින් ම බබිලෝනියෙන් නැවත ගෙනෙනු ලැබේ යයි නුඹලාට දිවැස් වැකි කියන නුඹලාගේ දිවැසිවරුන්ගේ වචනවලට සවන් නොදෙන්න. ඔව්හු නුඹලාට බොරු දිවැස් වැකි පවසති.</verse>
				<verse number="17">ඔවුන්ට සවන් නොදෙන්න. බබිලෝනියේ රජුට සේවය කර ජීවත් වන්න. මේ නගරය පාළුකරයක් කරන්නට ඉඩ තබන්නේ කුමට ද?</verse>
				<verse number="18">ඔව්හු සැබෑවට ම මාගේ වචනය පවසන දිවැසිවරු නම්, දේව මාලිගාවේත්, ජුදා රජුගේ මාලිගාවේත්, ජෙරුසලමේත් ඉතිරි ව ඇති භාණ්ඩ බබිලෝනියට ගෙන නොයන ලෙස සියලු බලැති ස්වාමීන් වන මට කන්නලව් කරත් වා.</verse>
				<verse number="19">“බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර්, ජෙහෝයාකිම්ගේ පුත් ජුදාහි රජු වූ ජෙකොනියා ද ජුදාහි හා ජෙරුසලමේ ප්‍රධානීන් ද අල්ලාගෙන බබිලෝනියට යද්දී, ඔහු කුළුණු, ලෝකඩ තටාකය, මැසි හා දේව මාලිගාවේ අනික් භාණ්ඩ ගෙන ගියේ නැත.</verse>
				<verse number="20">***</verse>
				<verse number="21">“ඉන්පසු ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ද ජුදාහි රජ මැදුරෙහි ද ඉතිරි ව ඇති ඒ භාණ්ඩ ගැන ස්වාමීන් වන මා වදාරන දේට සවන් දෙන්න.</verse>
				<verse number="22">ඒවා බබිලෝනියට ගෙනයනු ලබන්නේ ය; මා ඒවා සලකා බලන දවස දක්වා ඒවා එහි තිබෙන්නේ ය. එවිට මම ඒවා ගෙනවුත් නැවත මේ ස්ථානයට පමුණුවන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
			</chapter>
			<chapter number="28">
				<verse number="1">එම අවුරුද්දේ ම එනම්, ජුදාහි රජු වූ ශෙදෙකියාගේ රාජ්‍ය කාලයේ සතර වන අවුරුද්දේ පස් වන මාසයේ දී, අස්සුර්ගේ පුත් ගිබියොන්හි පදිංචි දිවැසිවර හනනියා දේව මාලිගාවේ දී පූජකයන් සහ මුළු සෙනඟ ඉදිරියේ ජෙරමියාට කතා කෙළේ ය.</verse>
				<verse number="2">“ඉශ්රායෙල්හි සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි ඔහු කී ය: “බබිලෝනියේ රජුගේ බලය මම බිඳදැමීමි.</verse>
				<verse number="3">බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් මේ ස්ථානයෙන් රැගෙන බබිලෝනියට ගෙන ගිය දේව මාලිගාවේ සියලු ම භාණ්ඩ අවුරුදු දෙකක් ඇතුළත දී නැවත මේ ස්ථානයට ගෙනෙන්නෙමි.</verse>
				<verse number="4">ජෙහෝයාකිම්ගේ පුත් ජුදාහි රජු වූ ජෙකොනියා ද බබිලෝනියට ගෙනයනු ලැබූ සියලු ම ජුදෙව්වරුන් ද මම නැවත මේ ස්ථානයට ගෙනෙන්නෙමි. බබිලෝනියේ රජුගේ බලය මම සිඳදමන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
				<verse number="5">එවිට දිවැසිවර ජෙරමියා පූජකයන් ද දේව මාලිගාවේ සිටි සියලු සෙනඟ ද ඉදිරියෙහි සිට දිවැසිවර හනනියාට කතා කොට මෙසේ කී ය:</verse>
				<verse number="6">“එසේ ම වේ වා! සමිඳාණන් වහන්සේ එසේ කරන සේක් වා! ‘දේව මාලිගාවේ භාණ්ඩ ද අල්ලාගෙන යනු ලැබූ සියල්ලන් ද නැවත බබිලෝනියෙන් මේ ස්ථානයට ගෙනෙත් වා!’යි ඔබ කී දිවැස් වැකි සමිඳාණන් වහන්සේ ඉටු කරන සේක් වා!</verse>
				<verse number="7">එසේ වුවත්, ඔබ ඉදිරියේත්, මේ සෙනඟ ඉදිරියේත් සියල්ලන්ට ඇසෙන පරිදි මා කියන මේ වචනය අසන්න.</verse>
				<verse number="8">මටත්, ඔබටත් පෙර, පුරාණයේ පටන් සිටි දිවැසිවරුත්, ‘බොහෝ රටවලට සහ බලවත් රාජ්‍යවලට විරුද්ධ ව යුද්ධය ද විපත්තිය ද වසංගතය ද ඇති වේ’ යයි දිවැස් වැකි පැවසූ හ.</verse>
				<verse number="9">‘සාමය ඇති වේ’ යයි දිවැස් වැකි පවසන ලද දිවැසිවරයා, සැබැවින් ම සමිඳාණන් වහන්සේ විසින් එවන ලද දිවැසිවරයෙක් යයි හඳුනාගත හැක්කේ ඔහුගේ වචන ඉෂ්ට වූ විට ය.”</verse>
				<verse number="10">එවිට හනනියා, ජෙරමියාගේ බෙල්ලෙන් වියගහ හැරගෙන එය කැඩුවේ ය.</verse>
				<verse number="11">මුළු සෙනඟ ඉදිරියේ හනනියා කතා කොට, “බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් ජාතීන්ගේ ගෙල මත තබා ඇති වියගහ අවුරුදු දෙකක් ඇතුළත දී සමිඳාණන් වහන්සේ කඩාදමන්නේ මෙසේ ය”යි කී ය. ජෙරමියා එතැනින් යන්නට ගියේ ය.</verse>
				<verse number="12">තවද, ජෙරමියාගේ ගෙල මත තිබූ වියගහ හනනියා කඩාදැමූ පසු, සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කොට,</verse>
				<verse number="13">හනනියාට මෙසේ කියන්න යයි වදාළ සේක: “නුඹ ලී වියගහක් කඩාදැමුවෙහි ය. එහෙත්, ඒ වෙනුවට යකඩ වියගහක් සාදන්නෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="14">බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර්ට සේවය කරන පිණිස යකඩ වියගහක් සියලු ජාතීන්ගේ ගෙල මත තබන්නෙමි යි ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ වදාරා ඇත. ගවමහිෂයන් පවා නෙබුකද්නෙශර්ට සේවය කරන්නට සලස්වන්නෙමි යි සමිඳාණන් වහන්සේ වදාරා ඇත.”</verse>
				<verse number="15">තවද, ජෙරමියා හනනියාට මෙසේ කීවේ ය: “හනනියා, සවන් දෙන්න. සමිඳාණන් වහන්සේ ඔබ එවා වදාළේ නැත. මිථ්‍යා මතයන් කෙරෙහි විශ්වාසය තබන්නට ඔබ මේ සෙනඟට සැලැසුවෙහි ය.</verse>
				<verse number="16">‘නුඹ පොළොව මතුපිටින් මම පහකරන්නෙමි’යි සමිඳාණන් වහන්සේ ම වදාරන සේක. ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලිකාර වචන ප්‍රකාශ කළ නිසා ඔබ මේ අවුරුද්දේ මැරෙන්නෙහි ය.”</verse>
				<verse number="17">ඒ කී ලෙස හනනියා එම අවුරුද්දේ සත් වන මාසයේ දී මළේ ය.</verse>
			</chapter>
			<chapter number="29">
				<verse number="1">අල්ලාගෙන යනු ලැබූ සෙසු නායකයන්ට ද පූජකයන්ට ද දිවැසිවරුන්ට ද නෙබුකද්නෙශර් විසින් ජෙරුසලමෙන් බබිලෝනියට හිරකරුවන් වශයෙන් ගෙනයනු ලැබූ සෙනඟට ද දිවැසිවර ජෙරමියා විසින් ලියා යවන ලද හසුන මෙය වේ.</verse>
				<verse number="2">ඔහු එය ලියුවේ ජෙකොනියා රජු ද මවු බිසව ද නපුංසකයන් ද ජුදා හා ජෙරුසලමේ අධිපතීන් ද කම්මල්කාරයන් ද ලෝහකරුවන් ද ජෙරුසලමෙන් පිටත් ව ගිය පසු ය.</verse>
				<verse number="3">මේ හසුන ජුදාහි රජු වූ ශෙදෙකියා, ෂාපාන්ගේ පුත් එලාසා සහ හිල්කියාගේ පුත් ගෙමරියා අතින් බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් වෙත යවන ලදී. එහි මෙසේ ලියා තිබිණි:</verse>
				<verse number="4">“ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ හිරකරුවන් වශයෙන් ජෙරුසලමෙන් බබිලෝනියට ගෙන යන්නට ඉඩ හැරිය සියල්ලන්ට උන් වහන්සේ මෙසේ වදාරන සේක:</verse>
				<verse number="5">‘නුඹලා ගෙවල් ගොඩනඟා, එහි වාසය කරන්න; වතු වවා ඒවායින් ලැබෙන පල කන්න;</verse>
				<verse number="6">විවාහ වී දරුදැරියන් ලබාගන්න; නුඹලාගේ පුත්‍රයන්ට භාර්යාවන් ද දූවරුන්ට පුරුෂයන් ද ලබා දී දරුදැරියන් ලැබීමට ඔවුන්ට ඉඩ සලසා දෙන්න. මෙසේ නුඹලාගේ සංබ්‍යාව අඩුවන්නට ඉඩ නොදී වැඩි කරන්න.</verse>
				<verse number="7">මම නුඹලා හිරකරුවන් වශයෙන් යම් නගරයකට පැමිණෙවුවෙම් ද එහි යහපත පිණිස වැඩ කරන්න. ඒ උදෙසා මට යාච්ඤා කරන්න. ඒ නගරයේ සෞභාග්‍යය ඇති වුවහොත්, නුඹලාගේ සෞභාග්‍යයත් ඇති වන්නේ ය.’</verse>
				<verse number="8">ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹලා අතරෙහි සිටින නුඹලාගේ දිවැසිවරුන්ට ද පේන කියන්නන්ට ද නොරැවටෙන්න; ඔවුන් දකින සිහින ගණනකට නොගන්න.</verse>
				<verse number="9">මන්ද, ඔව්හු මාගේ නාමයෙන් නුඹලාට බොරු දිවැස් වැකි පවසති. මම ඔවුන් නොඑව්වෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.’</verse>
				<verse number="10">“තවද, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘බබිලෝනියේ අවුරුදු සැත්තෑව සම්පූර්ණ වූ පසු මම නුඹලා ගැන සලකා ආපසු නුඹලාගේ මවුබිමට නුඹලා පැමිණවීමට මා කළ පොරොන්දුව ඉෂ්ට කරන්නෙමි.</verse>
				<verse number="11">නුඹලාගේ සෞභාග්‍යය පිණිස මිස විපත්තිය පිණිස නොවන, නුඹලාගේ අනාගත බලාපොරොත්තු මුදුන් පමුණුවා දෙන මාගේ යෝජනා මම හොඳින් දනිමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="12">එවිට නුඹලා මට කන්නලව් කරන්නහු ය; අවුත් මට යාච්ඤා කරන්නහු ය; මම ද නුඹලාට ඇහුම්කන් දෙන්නෙමි.</verse>
				<verse number="13">නුඹලා මා සොයන්නහු ය. නුඹලා මුළු සිතින් මා සොයන කල මා නුඹලාට සම්බ වනු ඇත.</verse>
				<verse number="14">සැබැවින් ම මා නුඹලාට සම්බ වනු ඇත. නුඹලාගේ මවුබිමට මම නුඹලා ආපසු ගෙනෙන්නෙමි. මා විසින් නුඹලා විසුරුවා හරිනු ලැබූ සෑම රටකින් ම, සෑම තැන්වලින් ම නුඹලා එක්රැස් කරන්නෙමි; නුඹලා හිරකරුවන් වශයෙන් මා විසින් ගෙනයනු ලැබූ රටින් මම නුඹලා ආපසු ගෙනෙන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.’</verse>
				<verse number="15">“බබිලෝනියේ දී සමිඳාණන් වහන්සේ ඔබට දිවැසිවරුන් දුන් සේකැ යි ඔබ කියන්නහු ය.</verse>
				<verse number="16">දාවිත්ගේ සිංහාසනයේ වැඩ හිඳින රජු ගැන ද ඔබ සමඟ හිරකරුවන් වශයෙන් ගෙනයනු නොලැබූ ඔබේ සහෝදරයන් වන මේ නගරයේ වාසය කරන මුළු සෙනඟ ගැන ද සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන දේට සවන් දෙන්න.</verse>
				<verse number="17">සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම ඔවුන් අතරට යුද්ධය ද සාගතය ද වංසගතය ද පමුණුවා ඔවුන් කන්නට බැරි තරම් නරක් වී තිබෙන පිළිකුල් අත්තික්කා මෙන් කරන්නෙමි.</verse>
				<verse number="18">මම යුද්ධය ද සාගතය ද වසංගතය ද උපකරණ කරගෙන ඔවුන් ලුහුබැඳ ගොස්, පොළොවේ සියලු රාජ්‍යයන්ට ද භීතියක් වන සේ සලසා, මා විසින් ඔවුන් පන්නාදමන ලද සියලු ජාතීන් අතර ඔවුන් සාපයක් ද සියල්ලන්ට භීතියක් ද සරදමක් ද නින්දාවක් ද වන්නට සලස්වන්නෙමි.</verse>
				<verse number="19">මෙසේ කරන්නේ, මා නිරන්තරයෙන් මාගේ සේවකයන් වූ දිවැසිවරුන් ඔවුන් වෙත යැවූ නමුත්, ඔවුන් මාගේ වචනය නොඇසූ නිසා ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="20">එබැවින්, මා විසින් ජෙරුසලමෙන් බබිලෝනියට පලවා හරිනු ලැබූ විප්‍රවාසීන් සියල්ලෙනි, නුඹලාගේ සමිඳාණන් වහන්සේ වන මාගේ වචනයට සවන් දෙන්න.’</verse>
				<verse number="21">“සියලු බලැති සමිඳාණන් වන ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ නාමයෙන් බොරු දිවැස් වැකි ඔබ හැමට කියන කෝලායාගේ පුත් ආහබ් ද මයසේයාගේ පුත් ශෙදෙකියා ද ගැන උන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම ඔවුන් බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් අතට පාවා දෙන්නෙමි; ඔහු නුඹලාගේ ඇස් හමුයෙහි ම ඔවුන් මරන්නේ ය.</verse>
				<verse number="22">බබිලෝනියේ විප්‍රවාසීන් ව සිටින සියලු ම ජුදෙව්වරුන්ට සාප වචනයක් මෙන් භාවිත කරන්නට වුවමනා වූ විට, බබිලෝනියේ රජු විසින් ගින්නෙන් දවනු ලැබූ ශෙදෙකියාටත්, ආහබ්ටත් කළාක් මෙන්, සමිඳාණන් වහන්සේ නුඹලාටත් කරන සේක් වා යි කියනු ඇත.</verse>
				<verse number="23">මන්ද, ඔව්හු ඉශ්රායෙල්හි දුෂ්ටකම් කොට තමන්ගේ අසල්වාසීන්ගේ භාර්යාවන් සමඟ කාමමිථ්‍යාචාරය කළෝ ය. මාගේ නාමයෙන් බොරු කියන්න මම ඔවුන්ට අණ නොකෙළෙමි. ඔවුන් කළ දේ මම දනිමි. ඒ ගැන මම ඔවුන්ට විරුද්ධ ව සාක්ෂි දරන්නෙමි. මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ය.’ “</verse>
				<verse number="24">ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ ජෙරමියාට කතා කොට නෙහෙලාමියේ ෂෙමායාට මෙසේ කියන්නට වදාළ සේක: “නුඹ නුඹේ නාමයෙන් ජෙරුසලමෙහි සිටින මුළු සෙනඟටත්, මයසේයාගේ පූජක තනතුර දැරූ ශෙපනියාටත්, සියලු පූජකයන්ටත් ලියුම් ලියා මෙසේ දැන්වූයෙහි ය.</verse>
				<verse number="25">***</verse>
				<verse number="26">‘සමිඳාණන් වහන්සේ ජෙහෝයාදා පූජකයා වෙනුවට පූජකවරයා වශයෙන් ඔබ පත් කළ සේක. දැන් ඔබ දේව මාලිගාවේ ප්‍රධාන නිලධාරියා වන්නෙහි ය. දිවැස් වැකි කියන හැම පිස්සෙකු ම දඬුකඳේ ද විලංගුවල ද දැමීම ඔබේ යුතුකම ය.’</verse>
				<verse number="27">එසේ නම්, දිවැස් වැකි කියන අනාතොත්හි ජෙරමියාට නුඹ තරවටු නොකෙළේ මන් ද?</verse>
				<verse number="28">කුමක් නිසා ද, ඔහු බබිලෝනියේ සිටින සෙනඟ දීර්ඝ කාලයක් වහල්කමේ සිටින බවත්, ඔවුන් ගෙවල් ගොඩනඟා එහි වාසය කළ යුතු බවත්, වතු වවා ඒවායේ පල අනුභව කළ යුතු බවත් අපට ලියා එවූ නිසා ය.”</verse>
				<verse number="29">දිවැසිවර ජෙරමියාට ඇසෙන ලෙස පූජක ශෙපනියා මේ ලියුම් කියෙව්වේ ය.</verse>
				<verse number="30">එවිට සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කොට,</verse>
				<verse number="31">“බබිලෝනියේ සිටින සියලු හිරකරුවන්ට පණිවුඩයක් යවමින්, ෂෙමායා පිළිබඳ ව සමිඳාණන් වහන්සේ වදාළ මේ දේ ද දන්වන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="32">කෙසේ ද යත්: “ස්වාමීන් වන මම නෙහෙලාමියේ ෂෙමායාටත්, ඔහුගේ වංශයටත් දඬුවම් කරන්නෙමි. මන්ද ඔහු දිවැසිවරයෙකු මෙන් ඔබට කතා කරමින්, ඔහු පැවසූ අසත්‍ය දේ විශ්වාස කිරීමට ඔබට සැලැස්සුවේ ය. එහෙත් මම ඔහු නොඑව්වෙමි. ඔහු මට විරුද්ධ ව කැරලිකාර වචන කතා කළ නිසා මේ සෙනඟ අතර වාසය කරන කිසිවෙකු ඔහුගේ පරම්පරාවේ ඉතිරි වන්නේ නැත. මා විසින් මාගේ සෙනඟට කරනු ලබන යහපත ඔහුට දකින්නට නොලැබේ. ඔහුගේ වංශයේ කිසිවෙක් මේ සෙනඟ අතර ජීවත් වන්නේත් නැත. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය” යනු යි.</verse>
			</chapter>
			<chapter number="30">
				<verse number="1">සමිඳාණන් වහන්සේගෙන් ජෙරමියාට පණිවුඩයක් පැමිණියේ ය.</verse>
				<verse number="2">ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “මා නුඹට කී සියලු වචන පොතක ලියන්න.</verse>
				<verse number="3">මන්ද, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේත්, ජුදාවරුන්ගේත් සෞභාග්‍යය ප්‍රදානය කරන දින ළඟා වන්නේ ය. මම ඔවුන්ගේ පියවරුන්ට දුන් දේශයට ඔවුන් නැවත ගෙනෙන්නෙමි. ඔව්හු එය භුක්ති විඳින්නෝ ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
				<verse number="4">ඉශ්රායෙල්වරුන් සහ ජුදාවරුන් ගැන සමිඳාණන් වහන්සේ වදාරන වචන මෙසේ ය:</verse>
				<verse number="5">“තැතිගන්වන හඬක් මට ඇසුණේ ය. එය සාමයේ නොව, භීතියේ හඬක් ය.</verse>
				<verse number="6">පුරුෂයෙකුට ප්‍රසව වේදනාව ඇති විය හැකි ද කියා සිතා බලන්න. එසේ නොවේ නම්, ප්‍රසව වේදනාව ඇති ස්ත්‍රියක මෙන් හැම පුරුෂයෙකු ම ඉඟටියේ අත් තබාගෙන සිටිනවාත්, මුහුණ සුදුමැලි වී තිබෙනවාත් මට පෙනෙන්නේ කුමක් නිසා ද?</verse>
				<verse number="7">අහෝ! භයානක දවසක් පැමිණෙන්නේ ය; ඊට සම කළ හැකි අන් දවසක් නොවන්නේ ය. එය ජාකොබ්ගේ පරපුරට විපත් දවසක් වන්නේ ය. එහෙත්, ඔවුන් එයින් ද ගළවනු ලබනු ඇත.”</verse>
				<verse number="8">සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ දවස පැමිණි විට මම ඔවුන්ගේ ගෙල මත ඇති වියගහ කඩාදමමි. ඔවුන්ගේ විලංගු බිඳදමන්නෙමි. ඔව්හු තවත් විදේශීන්ට වහල් නොවන්නෝ ය.</verse>
				<verse number="9">ඒ වෙනුවට ඔවුන් තමන්ගේ දෙවි ස්වාමීන් වන මට ද ඔවුන්ගේ රජු වශයෙන් මා ඔවුන්ට දෙන දාවිත්ට ද සේවය කරනු ඇත.</verse>
				<verse number="10">“ඒ නිසා, මාගේ මෙහෙකරු වූ ජාකොබ්ගෙන් පැවත එන සියල්ලෙනි, බිය නොවන්න. ඉශ්රායෙල් ජනයෙනි, නොකැළඹෙන්න. නුඹලා විප්‍රවාසී වී සිටින ඒ දුර රටින් මම නුඹලා ගළවාගන්නෙමි. ජාකොබ්ගේ පරපුර වහල්කමෙන් හැරී අවුත්, කිසිවෙකුට බිය නොවී, නිසංසල ව, සුව සේ සිටිනු ඇත. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="11">නුඹලා ගළවන පිණිස මම නුඹලා සමඟ සිටිමි. මම නුඹලා යම් යම් දේශවලට විසුරුවා හැරියෙම් ද, ඒ සියලු දේශ මම සහමුලින් ම විනාශ කරදමමි. එහෙත්, මම නුඹලා විනාශ නොකරතත්, නුඹලාට දඬුවම් නොකර නොසිටින්නෙමි. නිසි ප්‍රමාණයට මම නුඹලාට දඬුවම් කරමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
				<verse number="12">සමිඳාණන් වහන්සේ සිය සෙනඟට මෙසේ වදාරන සේක: “නුඹලාගේ තුවාළ අසාධ්‍ය ය; නුඹලා විඳින වේදනාව ඉතා දරුණු ය.</verse>
				<verse number="13">“ඔබ වෙනුවෙන් ඉදිරිපත් වීමට කිසිවෙකු නැත. නුඹලාට සාත්තු කිරීමට කිසිවෙකු නැත.</verse>
				<verse number="14">“නුඹලාගේ සියලු ප්‍රේමවන්තයෝ නුඹලා අමතක කළහ. ඔව්හු තවත් නුඹලා ගැන නොසලකති. නුඹලාගේ අයුතුකම් බරපතල නිසා ද පාප ක්‍රියා බහුල නිසා ද කිසි දයාවක් නැති ව සතුරකුට පහර දෙන පරිදි මම කෲර ලෙස නුඹලාට පහර දිනිමි.</verse>
				<verse number="15">“නුඹලාගේ තුවාළ ගැන කොඳුරන්නේ කුමට ද? නුඹලාගේ වේදනාව සුව කළ නොහැකි ය. මා නුඹලාට මෙසේ දඬුවම් කෙළේ, නුඹලාගේ අපරාධයේ බරපතලකම නිසාත්, පාප ක්‍රියා බහුල නිසාත් ය.</verse>
				<verse number="16">“නුඹලා වනසන සියල්ලෝ ම වැනසෙති. නුඹලාගේ එදිරිකාර සියල්ලෝ ම හිරකරුවන් වශයෙන් ගෙනයනු ලබන්නෝ ය. නුඹලාගෙන් කොල්ලකන්නෝ කොල්ලකනු ලබන්නෝ ය. නුඹලා සතු දේ පැහැරගන්නන්ගෙන් ඔවුන් සතු දේ ද පැහැරගනු ලබන්නේ ය.</verse>
				<verse number="17">“සියොන පිටුවහල් කරනු ලැබුවා ය; ඈ ගැන සලකන කිසිවෙක් නැතැ යි නුඹලාගේ සතුරන් කියන නමුත්, මම නුඹලාගේ තුවාළ සුව කර නුඹලාට සුව සෙත යළිත් ගෙන දෙන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
				<verse number="18">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම ජාකොබ්ගේ පරපුර සිය දේශයට ආපසු පමුණුවා හැම පවුලකට ම වාසස්ථානයක් ලැබීමේ භාග්‍යය නැවත දෙන්නෙමි. නගරය ද එහි කන්ද පිට ගොඩනඟනු ලැබ, මාලිගාව තිබුණු හැටියට ම පිහිටුවනු ලබන්නේ ය.</verse>
				<verse number="19">එහි වසන සෙනඟ ප්‍රීති ගී ගයන්නෝ ය. ඔව්හු ප්‍රීතියෙන් හඬ නඟන්නෝ ය. ඔවුන්ගේ සංබ්‍යාව අඩු නොකර වැඩි වන්නට සලස්වා, ඔවුන්ගේ අගෞරවය පහකර මම ඔවුන් උසස් කරන්නෙමි.</verse>
				<verse number="20">ඔවුන්ගේ දරුවෝ කලින් සිටි ලෙස වන්නෝ ය; ඔවුන්ගේ සභාව මා ඉදිරියෙහි ස්ථීර ව පවතිනු ඇත. ඔවුන්ට පීඩා කරන සියල්ලන්ට මම දඬුවම් කරන්නෙමි.</verse>
				<verse number="21">ඔවුන්ගේ අධිපතියා ඔවුන්ගේ ම කෙනෙක් වන්නේ ය; ඔවුන්ගේ ආණ්ඩුකාරයා ද ඔවුන් අතරෙන් ම නැඟී එන්නේ ය. මා වෙත එන්නට මම ඔහුට අවසර දෙන්නෙමි. එවිට ඔහු මා වෙත ළඟා වන්නේ ය. කැඳවීමක් නැති ව ම මා වෙත පැමිණෙන්නට බිය නොවන්නේ කවරෙක් ද? මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.</verse>
				<verse number="22">නුඹලා මාගේ සෙනඟ වන්නහු ය. මම ද නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි.”</verse>
				<verse number="23">සමිඳාණන් වහන්සේගේ කෝපය ගසාගෙන එන කුණාටුවක් මෙන් ළඟා වෙයි; එය දුෂ්ටයන්ගේ හිස පිට සුළි සුළඟක් මෙන් කඩා වැටෙයි.</verse>
				<verse number="24">සමිඳාණන් වහන්සේ තමන්ගේ සිතේ අදහස් ඉෂ්ට කරන තෙක් ද සම්පූර්ණ කරන තෙක් ද උන් වහන්සේගේ බලවත් උදහස පහ ව යන්නේ නැත. මතු දවස්වල දී සෙනඟ එය තේරුම්ගනු ඇත.</verse>
			</chapter>
			<chapter number="31">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල්හි හැම ගෝත්‍රයකම මා දෙවියන් වහන්සේ ද ඔවුන් මාගේ සෙනඟ ද වන කාලය පැමිණෙන්නේ ය.</verse>
				<verse number="2">කඩු පහරින් ගැළවුණු සෙනඟට පාළුකරයේ දී මම කරුණාව දැක්වීමි. ඉශ්රායෙල් සෙනඟ විවේක සුවය පැතූවිට,</verse>
				<verse number="3">ස්වාමීන් වන මම දුර සිට ඔවුන්ට ප්‍රකාශ වුණෙමි. ඉශ්රායෙල් ජනයෙනි, මම නුඹලාට නිරන්තරයෙන් ප්‍රේම කෙළෙමි; නුඹලාට මාගේ විශ්වාසකම තවදුරටත් ප්‍රකාශ කරමි.</verse>
				<verse number="4">එම්බා ඉශ්රායෙල් ජාතිය! මම නැවත නුඹ ගොඩනඟන්නෙමි. එවිට නුඹලා ගොඩනඟනු ලබන්නහු ය. නුඹලා නැවත නුඹලාගේ කිකිණි රබන් රැගෙන විනෝද වන්නන් සමඟ ප්‍රීතියෙන් නටන්නහු ය.</verse>
				<verse number="5">නැවත නුඹලා සමාරියේ කඳුවල මිදි වැල් වවනු ඇත. වවන්නෝ ඒවා හිටවා ඒවායේ පල භුක්ති විඳින්නෝ ය.</verse>
				<verse number="6">මන්ද, ‘නැඟිටින්න, සියොන් කන්දට අපේ දෙවි ස්වාමීන් වහන්සේ වෙත නැඟී යමු’යි එප්‍රායිම් කඳුවල රැකවලුන් හඬ නඟන දවසක් පැමිණෙන්නේ ය.”</verse>
				<verse number="7">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ජාතීන් අතර අගතැන්පත් ඉශ්රායෙල් ගැන ප්‍රීතියෙන් ගී ගයන්න. ‘සමිඳාණෝ සිය සෙනඟ ගැළවූ සේක; ඉතිරි ව සිටින සෙනඟ මුදාගත් සේක’ කියමින් හඬ නඟා පැසසුම් ගී ගයමින් ප්‍රශංසා කරන්න.</verse>
				<verse number="8">බලන්න, උතුරු දේශයෙන් මම ඔවුන් ගෙනෙන්නෙමි; පොළොවේ ඉතා දුර තැන්වලින් ඔවුන් රැස් කරන්නෙමි; අන්ධයන් හා කොරුන් ද ගර්භණීන් හා ප්‍රසව වේදනාව විඳින කාන්තාවන් ද ඔවුන් සමඟ පැමිණෙනු ඇත. ඔවුන් මහත් සමූහයක් ව හැරී එනු ඇත.</verse>
				<verse number="9">ඔවුන් අඬමින් ද කන්නලව් කරමින් ද ගිය නමුත්, මම ඔවුන් සනසමින් ආපසු ගෙනෙන්නෙමි. දිය ඔයවල් අසලින්, නොපැකිළෙන, ඇද නැති මාවත් ඔස්සේ ඔවුන් ගෙන යන්නෙමි. මම ඉශ්රායෙල්වරුන්ගේ පියා වෙමි; එප්‍රායිම් මාගේ කුළුඳුල් පුත්‍රයා වන්නේ ය.</verse>
				<verse number="10">එම්බා ජාතීනි, සමිඳුන්ගේ වචනයට සවන් දී දුර බැහැර දිවයින්වල එය ප්‍රකාශ කරන්න. ‘ඉශ්රායෙල් සෙනඟ විසිරවූ මම ඔවුන් රැස් කරන්නෙමි; එඬේරා තම රැළ රැකගන්න පරිදි මම ඔවුන් රැකගන්නෙමි’යි කියන්න.</verse>
				<verse number="11">ඉශ්රායෙල් සෙනඟට නිදහස දී, බලවත් ජාතීන්ගේ හස්තයෙන් මම ඔවුන් ගළවාගනිමි.</verse>
				<verse number="12">ඔව්හු පැමිණ සියොන් කන්ද මත ප්‍රීතියෙන් ගී ගයති, මාගේ යහපත්කම නිසා තමන් ලත් දීමනා වන ධාන්‍ය, මිදියුස හා තෙල් ද බැටළු පැටවුන් හා ගවවස්සන් ද ගැන සතුටු වන්නෝ ය. ඔවුන්ගේ ජීවිතය ජලයෙන් සාරවත් වූ උයනක් මෙන් වන්නේ ය. ඔව්හු තවත් කිසි සේත් දුක් නොවන්නෝ ය.</verse>
				<verse number="13">එවිට තරුණියෝ ප්‍රීතියෙන් නටන්නෝ ය. තරුණයෝ ද මහල්ලෝ ද එක් ව ප්‍රීති වන්නෝ ය. මම ඔවුන්ගේ වැලපීම ප්‍රීතියට හරවන්නෙමි. ඔවුන් සනසා ඔවුන්ගේ දොම්නස සොම්නසට හරවන්නෙමි.</verse>
				<verse number="14">පූජකයන්ගේ සිත ද හද ද පිරියෙන් පුරවන්නෙමි. සමිඳුන්ගේ යහපත්කමින් සෙනඟ තෘප්තියට පමුණුවන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
				<verse number="15">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “හැඬීමේ ද දැඩි වැලපීමේ ද හඬක් රාමාහි ඇසිණි. රාකෙල් ඇගේ දරුවන් ගැන අඬමින් ඔවුන් නැති නිසා අස්වැසිල්ලක් නැති ව සිටියා ය.</verse>
				<verse number="16">නුඹේ හැඬීම නවත්වා, නෙත්වලින් කඳුළු පිසදමන්න. නුඹේ ක්‍රියාවලට විපාකය නුඹට ලැබෙන්නේ ය; ඔවුන් සතුරන්ගේ දේශයෙන් හැරී එනු ඇත. මෙසේ පවසන්නේ සමිඳාණෝ ය.</verse>
				<verse number="17">නුඹේ මතු කාලය ගැන බලාපොරොත්තුවක් ඇත. නුඹේ දරුවන් සිය මවුබිමට ආපසු එනු ඇත.</verse>
				<verse number="18">ඉශ්රායෙල් සෙනඟගේ කන්නලව්ව මම ඇසීමි; ‘සමිඳුනි, අපි කුළෑටි ගොන්වස්සෙකු මෙන් සිටියෙමු. ඔබ අපට දඬුවම් කළ සේක; එයින් අපි හැඩගැසුණෙමු. ඔබ අපට ඉගැන්වූ සේක. අප හැරී එන පිණිස ආපසු අප ගෙනෙනු මැනව. ඔබ අපේ දෙවි සමිඳාණන් වහන්සේ ය.</verse>
				<verse number="19">අපි ඔබ වෙතින් හැරී ගියෙමු, එහෙත්, අපි පසුතැවිලි වූයෙමු. ඒ වරද තේරුම්ගත් පසු අපි දුක ප්‍රකාශ කෙළෙමු. තරුණ කාලයේ දී අප පව් කළ බැවින් ලජ්ජාවටත්, නින්දාවටත් අපි පත් වූයෙමු.’</verse>
				<verse number="20">ඉශ්රායෙලය, නුඹ මාගේ පුත්‍රයා ය; මා ඉතා ප්‍රේම කරන දරුවා ය. නුඹේ නම මා සඳහන් කරන සෑම විට ම ප්‍රේමයෙන් මම නුඹ සිහි කරමි. නුඹ ගැන මාගේ සිත කකියනු ඇත. මම නුඹට නිසැක ව අනුකම්පා කරමි. මෙසේ පවසන්නේ සමිඳුන් වන මම ය.</verse>
				<verse number="21">මං සලකුණු වන මාර්ග කණු සිටුවාගන්න. එසේ නුඹේ මාර්ගය නැවත සොයාගෙන, ඉශ්රායෙල් ජනයෙනි, ආපසු හැරී එන්න. නුඹලාගේ නගරවලට හැරී එන්න.</verse>
				<verse number="22">අහෝ! අකීකරු ජනයෙනි, නුඹලා කොතෙක් කල් සැකෙන් සැලෙන්නහු ද? සමිඳුන් වන මා පොළොවේ අලුත් දෙයක් මවා ඇත. කාන්තාවක් ඇගේ පුරුෂයා යළි සොයමින් යන්නී ය.”</verse>
				<verse number="23">ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “සෙනඟගේ උරුමය මා ඔවුන්ට යළි ලබා දුන් විට, ‘එම්බා ධර්මිෂ්ඨකමේ වාසභූමිය! එම්බා ශුද්ධ කන්ද! සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක් වා!’ යන කීම ඔවුන් ජුදා දේශයෙහි ද එහි නගරවල ද නැවත භාවිතා කරනු ඇත.</verse>
				<verse number="24">ජුදාවේ ද එහි සියලු නගරවල ද සෙනඟ ජීවත් වන්නෝ ය. එහි ගොවියෝ ද ගව රැළ කැටුව යන්නෝ ද එක් ව වාසය කරන්නෝ ය.</verse>
				<verse number="25">එවිට මම පීඩාවට පත් වූවන් ප්‍රාණවත් කරන්නෙමි; සාගින්නෙන් පෙළෙනවුන් තෘප්තියට පමුණුවන්නෙමි.</verse>
				<verse number="26">එවිට මම අවදි ව වටපිට බැලුවෙමි. මගේ නින්ද සතුටුදායක විය.</verse>
				<verse number="27">“ඉශ්රායෙල් දේශය හා ජුදා දේශය සෙනඟගෙන් ද ගවයන්ගෙන් ද පුරවන කාලය පැමිණෙන්නේ යයි ස්වාමීන් වන මම කියන්නෙමි.</verse>
				<verse number="28">උදුරන්නටත්, කඩා දමන්නටත්, හෙළාදමන්නටත්, නැති කරන්නටත්, විපත්ති පමුණුවන්නටත් මා සැලැසූ පරිදි, ගොඩනඟන්නටත් හිටවන්නටත් මම සලස්වන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="29">ඒ කාලය පැමිණි විට, ‘පියවරු ඇඹුල් මිදි පල කෑවෝ ය. දරුවන්ගේ දත් හිරිවැටුණේ ය’යි තවත් කියනු නොලබන්නේ ය.</verse>
				<verse number="30">එහෙත්, එකිනෙකා නසින්නේ තමන්ගේ පව් නිසා ය. දත් හිරි වැටෙන්නේ ඇඹුල් මිදි පල කෑ තැනැත්තාගේ ම ය.”</verse>
				<verse number="31">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල් සෙනඟ හා ජුදා සෙනඟ සමඟ ද මා අලුත් ගිවිසුමක් කරන කාලය පැමිණෙන්නේ ය.</verse>
				<verse number="32">ඒ වනාහි ඔවුන්ගේ පියවරුන් මා අතින් අල්ලාගෙන මිසර දේශයෙන් පිටතට ගෙන එන්නට පියවර ගත් කාලයේ දී ඔවුන් සමඟ මා කළ ගිවිසුම ඔව්හු කඩ කළෝ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="33">එහෙත්, ඒ කාලය පැමිණි විට, ඉශ්රායෙල් සෙනඟ සමඟ මා කරන ගිවිසුම මෙය වේ. මම මාගේ අණපණත් ඔවුන් තුළ පිහිටුවා එය ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි, ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="34">‘සමිඳාණන් වහන්සේ හඳුනාගන්න’කියා, එකිනෙකා තම තමාගේ අසල්වැසියාට ද සහෝදරයාට ද උගන්වන්නට වුවමනා වන්නේ නැත. මන්ද, ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලන් ම මා හැඳින ගනු ඇත. මම ඔවුන්ගේ අපරාධ කමා කරන්නෙමි; ඔවුන්ගේ පාප තවත් සිහි නොකරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
				<verse number="35">දිවා කල එළිය පිණිස ඉර ද රෑ කල එළිය පිණිස සඳ හා තරු ද සමිඳාණෝ දෙන සේක; රළ ගොස ඇති වන සේ මුහුද කළඹන සේක; එතුමන්ගේ නාමය සව් බලැති සමිඳාණෝ ය.</verse>
				<verse number="36">සොබා දහම පහ ව ගියොත් මිස, ඉශ්රායෙල් සෙනඟ ජාතියක් ව නොපවතින බවට එතුමාණෝ පොරොන්දු වන සේක.</verse>
				<verse number="37">ඉහළ අහස මනින්නටත්, පහත පොළොවේ අත්තිවාරම් සොයා දැනගන්නටත් යමෙකුට පුළුවන් නම් පමණක්, ඉශ්රායෙල් සෙනඟ කළ සියල්ල නිසා එතුමාණෝ ඔවුන් පහකරන සේක. මෙසේ පවසන්නේ සමිඳුන් වන මම ය.</verse>
				<verse number="38">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “හනනෙල්ගේ කොත පටන් කොනේ දොරටුව දක්වා සමිඳාණන් වහන්සේ උදෙසා නගරයක් ගොඩනඟනු ලබන දවස් පැමිණෙන්නේ ය.</verse>
				<verse number="39">එතැන් සිට මායිම, බටහිර ගාරෙබ් හෙල දක්වා ද ගොවාය වටේට ද පැමිණෙයි.</verse>
				<verse number="40">මළකඳන් හා අළු දමන මුළු මිටියාවත ද කිද්‍රොන් මිටියාවත දක්වා ද නැගෙනහිර තිබෙන අශ්ව දොරටුවේ කොන දක්වා ද සියලු පිට්ටනි ස්වාමීන් වන මට ශුද්ධ වන්නේ ය. නගරය කිසි කලෙක උදුරනු නොලබන්නේ ය. හෙළාදමනු නොලබන්නේ ය.”</verse>
			</chapter>
			<chapter number="32">
				<verse number="1">ජුදාහි රජු වූ ශෙදෙකියාගේ දස වන අවුරුද්දේ දී එනම්, නෙබුකද්නෙශර්ගේ දසඅට වන අවුරුද්දේ දී, සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක.</verse>
				<verse number="2">ඒ කාලයේ දී බබිලෝනියේ රජුගේ සේනාව ජෙරුසලම වටලාගෙන සිටියේ ය. දිවැසිවර ජෙරමියා ජුදා රජුගේ ගෙදර පිහිටි හිරගෙයි මළුවේ හිරඅඬස්සි වී සිටියේ ය.</verse>
				<verse number="3">ශෙදෙකියා රජු ඔහු හිරඅඬස්සි කෙළේ, ඔහු ‘සමිඳාණන් වහන්සේ වදාළ සේකැ’යි මෙසේ කී බැවිනි. “බලන්න, මම මේ නුවර බබිලෝනියේ රජුගේ අතට පාවා දෙන්නෙමි. ඔහු එය අල්ලාගන්නේ ය.</verse>
				<verse number="4">ජුදාහි රජු වන ශෙදෙකියා බබිලෝනිවරුන්ගේ අතින් නොගැළවෙන්නේ ය. සැබැවින් ම ඔහු බබිලෝනියේ රජුගේ අතට පාවා දෙනු ලැබ ඔහු ඉදිරියේ මුහුණට මුහුණ ලා කතා කරන්නේ ය.</verse>
				<verse number="5">ශෙදෙකියා බබිලෝනියට ගෙනයනු ලබන්නේ ය. ඔහු ගැන මා කරුණු විමසන තුරු ඔහු එහි සිටිනු ඇත. බබිලෝනිවරුන්ට විරුද්ධ ව ඔහු යුද්ධ කළත් ඔහු ජය නොලබන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
				<verse number="6">තවද, ජෙරමියා කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේකැ”යි කී ය.</verse>
				<verse number="7">“නුඹේ පියාගේ සොහොයුරු වන ෂල්ලුම්ගේ පුත් හනමෙල් නුඹ ළඟට අවුත්, ‘අනාතොත්හි තිබෙන කෙත මිලේට ගන්න; මන්ද, එය මිලේට ගැනීමට අයිතිය ඇති කිට්ටු ම ඥාතිවරයා නුඹ ය’යි කියනු ඇත.”</verse>
				<verse number="8">සමිඳාණන් වහන්සේ වදාළ පරිදි, මාගේ පියාගේ සහෝදරයාගේ පුත් හනමෙල් හිරගෙයි මළුවට මා ළඟට අවුත්, “අනේ! බෙන්ජමින් දේශයෙහි අනාතොත්හි තිබෙන මාගේ කෙත මිලේට ගන්න; මන්ද, එහි උරුමයේ අයිතිය ඇත්තේ ඔබට ය; එය මිල දී ගන්නැ”යි කී ය. එවිට මෙය සමිඳාණන් වහන්සේගේ වචනය බව මම දැනගතිමි.</verse>
				<verse number="9">එබැවින් මම, අනාතොත්හි තිබෙන කෙත මාගේ පියාගේ සහෝදරයාගෙන් මිලේට ගෙන, එහි මිල වන රිදී කාසි දහහතක් ඔහුට කිරා දිනිමි.</verse>
				<verse number="10">මම ඔප්පුව අත්සන් කර, මුද්‍රාකොට, සාක්ෂිකාරයන් කැඳවාගෙන තරාදියෙන් කිරා ඔහුට මිල දිනිමි.</verse>
				<verse number="11">මම නියමයන් හා කොන්දේසි සටහන් කර තිබුණු මුද්‍රාව තැබූ ඔප්පුව ද විවෘත පිටපත ද රැගෙන,</verse>
				<verse number="12">මාගේ පියාගේ සහෝදරයාගේ පුත් හනමෙල් ඉදිරියේ දී ද ඔප්පුවට අත්සන් තැබූ සාක්ෂිකරුවන් ඉදිරියේ දී ද හිරගෙයි මළුවේ හිඳගෙන උන් සියලු ජුදෙව්වරුන් ඉදිරියේ දී ද මිලේට ගැනීමේ ඔප්පුව මයසේයාගේ පුත් වන නේරියාගේ පුත් බාරුක්ට මම දිනිමි.</verse>
				<verse number="13">ඔවුන් සියල්ලන් ඉදිරියේ මම බාරුක්ට අණ කරමින්,</verse>
				<verse number="14">‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මේ ඔප්පු එනම්, මුද්‍රාව තැබූ මිලේට ගැනීමේ ඔප්පුවත්, විවෘත ඔප්පුවත් රැගෙන, බොහෝ කල් පවතින පිණිස මැටි භාජනයක තබන්නට නියම කර ඇත.</verse>
				<verse number="15">මන්ද, ගෙවල් ද කෙත් ද මිදි වතු ද නැවත මේ දේශයෙහි මිලේට ගනු ඇතැ යි ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ පවසන සේකැ’යි කීවෙමි.</verse>
				<verse number="16">මිලේට ගැනීමේ මේ ඔප්පුව නේරියාගේ පුත් බාරුක්ට මා භාර දුන් පසු, මම සමිඳාණන් වහන්සේට මෙසේ යාච්ඤා කෙළෙමි:</verse>
				<verse number="17">“මහෝත්තම දෙවි ස්වාමීනි! ඔබේ මහත් බලයෙන් ද පරාක්‍රමයෙන් ද ඔබ අහසත් පොළොවත් මැවූ සේක. ඔබට බැරි කිසි දෙයක් නැත්තේ ය.</verse>
				<verse number="18">ඔබ වහන්සේ දහස් ගණන් මිනිසුන්ට කරුණාව පෙන්වන සේක; පියවරුන්ගේ දුෂ්ටකම නිසා ඔවුන්ට පසු ඔවුන්ගේ දරුවන්ට ප්‍රතිවිපාක දෙන සේක. ඔබ වහන්සේ මහෝත්තම පරාක්‍රමවත් දෙවියන් වහන්සේ ය, ඔබ වහන්සේගේ නාමය සියලු බලැති සමිඳාණන් වහන්සේ ය.</verse>
				<verse number="19">ඔබේ අදහස් උදාර ය; ඔබේ ක්‍රියා බලසම්පන්න ය; මිනිසුන් කරන සියලු දේ ඔබට පෙනෙන්නේ ය; ඔවුන්ගේ ක්‍රියාවල ප්‍රතිඵල අනුව ඔවුන්ට ප්‍රතිවිපාක දෙන සේක.</verse>
				<verse number="20">මිසර දේශයේ දී, ඔබ වහන්සේ හාස්කම් ද අරුමපුදුම දේ ද කළ සේක. එදින මෙන් මේ දවස දක්වා ද ඔබ ඉශ්රායෙල්හිත්, අන් සියලු ජාතීන් අතරේත් එසේ ම කරන සේක. ඒ නිසා ඔබේ නාමය ඔවුන් අතර මහිමාන්විත ය.</verse>
				<verse number="21">අපේ සතුරන් බිය ගැන්වූ හාස්කම් ද අරුමපුදුම දේ ද කර ඔබේ බලයත්, පරාක්‍රමයත් මෙහෙයවා ඔබේ සෙනඟ මිසර දේශයෙන් පිටතට ගෙනා සේක.</verse>
				<verse number="22">ඔවුන්ගේ පියවරුන්ට ඔබ දිවුරුම් දී පොරොන්දු වූ ලෙස කිරි ද මී පැණි ද උතුරා යන දේශයක් වන මේ දේශය ඔබ ඔවුන්ට දුන් සේක.</verse>
				<verse number="23">ඔව්හු ද ඇතුළු වී ඒ දේශය හිමි කරගත්හ. එහෙත්, ඔවුන් ඔබේ හඬට කීකරු වුණේ වත්, අණපණත් අනුව හැසුරුණේ වත්, ඔවුන්ට කරන්නට ඔබ අණ කල සියල්ල කෙළේ වත් නැත. ඒ නිසා ඔබ මේ සියලු විපත්ති ඔවුන් පිට පැමිණෙවූ සේක.</verse>
				<verse number="24">“මෙන්න, නගරය අල්ලාගන්න පිණිස ඒ වටා පස් කඳු සාදා ඇත. බබිලෝනිවරු නගරයට පහර දෙන්නෝ ය. යුද්ධයත්, සාගතයත්, වසංගතයත් කරණකොටගෙන නගරය ඔවුන්ට අත්පත් වන්නේ ය. ස්වාමීනි, ඔබ වදාළ දේ සිද්ධ වී තිබෙන බව ඔබට පෙනෙන්නේ ය.</verse>
				<verse number="25">අහෝ! දෙවි ස්වාමීනි, නගරය බබිලෝනිවරුන්ගේ අතට භාර දී තිබෙන නමුත්, ‘සාක්ෂිකාරයන් ඉදිරියෙහි කෙත මිලේට ගන්නැ’යි මට වදාළේ ඔබ ම ය.”</verse>
				<verse number="26">එවිට සමිඳාණන් වහන්සේ ජෙරමියාට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="27">“මම සකල මිනිසුන්ගේ දෙවියන් වහන්සේ වන සමිඳාණන් වහන්සේ ය. මට කිරීමට දුෂ්කර කිසි දෙයක් ඇද් ද?</verse>
				<verse number="28">එබැවින් සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. බලව, මම මේ නගරය බබිලෝනිවරුන්ගේ අතටත්, බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් අතටත් පවරා දෙමි. ඔහු මේ නගරය අල්ලාගන්නේ ය.</verse>
				<verse number="29">මේ නගරයට විරුද්ධ ව යුද්ධ කරන බබිලෝනිවරු අවුත් එය ගිනි ලන්නෝ ය. ඒ සමඟ ම මා කෝප කරන පිණිස යම් ගෙවල පියසි උඩ බාල් දෙවියාට සුවඳ දුම් ඔප්පු කරන්නටත්, අන් දෙවිවරුන්ට පානීය පූජා වගුරුවන්නටත් යෙදුණේ ද, ඒ ගෙවලුත් දවා දමන්නෝ ය.</verse>
				<verse number="30">ඉශ්රායෙල් සෙනඟ ද ජුදාවේ සෙනඟ ද ඔවුන්ගේ ඉතිහාසයේ පටන්ගැන්මේ සිට ම කෙළේ, මා ඇස් හමුයෙහි නපුරු දේ පමණකි. එසේ ය, ඔවුන්ගේ ක්‍රියාවලින් ඔවුන් කෙළේ, මා ප්‍රකෝප කරවන දේ පමණක් ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="31">මේ නගරය ගොඩනැඟුව දා පටන් අද දක්වා මාගේ උදහසත්, මාගේ කෝපයත් ඉපදවීමට එය හේතුවක් විය. ඒ නිසා මා ඉදිරියෙන් එය නැති කිරීමට මම තීරණය කෙළෙමි.</verse>
				<verse number="32">එසේ වන්නේ, මා කෝප කරවන හැටියට ඉශ්රායෙල් සෙනඟ ද ජුදා සෙනඟ ද ඔවුන්ගේ රජවරුන් ද ඔවුන්ගේ අධිපතීන් ද ඔවුන්ගේ පූජකයන් ද ඔවුන්ගේ දිවැසිවරුන් ද ජුදාහි මනුෂ්‍යයන් ද ජෙරුසලමේ වැසියන් ද කළ ඔවුන්ගේ සියලු නපුරුකම් නිසා ය.</verse>
				<verse number="33">ඔව්හු මට මූණ නො දී පිටු පා ගියෝ ය. මා නොකඩවා ම ඔවුන්ට ඉගැන්වූ නමුත්, ඔව්හු මාගේ දැනුමැතිකම නොපිළිගත්තෝ ය.</verse>
				<verse number="34">මාගේ නාමයෙන් හැඳින්වෙන මාලිගාව කෙලෙසන පිණිස ඔව්හු පිළිකුල් ලෙස හැසුරුණෝ ය.</verse>
				<verse number="35">ඔව්හු තමන්ගේ දූ පුතුන් මොලෙක් දෙවියා ඉදිරියෙහි දවා කැප කරන්නට හින්නොම් පුත්‍රයාගේ මිටියාවතෙහි බාල් දෙවියාට ගිරිකුළු දේවාල ගොඩනැඟුවෝ ය. ඔවුන් ඒ දේ කෙළේ, මාගේ අණට විරුද්ධ ව ය. එබඳු පිළිකුල් මඟින් ඔවුන් පාපයට පෙළඹවීමට මට අදහසක් පහළ වුණේ වත් මා ඔවුන්ට අණ කළේ වත් නැත.</verse>
				<verse number="36">“එහෙත් දැන්, කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද බබිලෝනියේ රජු අතට පාවා දී තිබේ යයි නුඹලා කියන මේ නගරය ගැන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක:</verse>
				<verse number="37">‘බලන්න, මාගේ උදහසින් ද මාගේ කෝපයෙන් ද තද අමනාපයෙන් ද මා විසින් ඔවුන් පන්නාදමනු ලැබූ සියලු රටවලින් ඔවුන් රැස්කරගෙන නැවත මේ ස්ථානයට පමුණුවා, සුව සේ වාසය කරන්නට සලස්වන්නෙමි.</verse>
				<verse number="38">ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මම ද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි.</verse>
				<verse number="39">ඔවුන්ටත්, ඔවුන්ට පසු ඔවුන්ගේ දරුවන්ටත් ශුභසිද්ධ වන පිණිස හැම කල්හි ම මා කෙරෙහි ගරුබිය දැක්වීමට එක ම හිතක් හා එක ම මඟක් ඔවුන්ට දෙන්නෙමි.</verse>
				<verse number="40">මම ඔවුන් වෙතින් ඉවතට නොහැරී, ඔවුන්ට යහපත කරන හැටියට ඔවුන් සමඟ සදාකාල ගිවිසුමක් කොට, ඔවුන් මා වෙතින් ඉවත් ව නොයන ලෙස මා කෙරෙහි ගරුබිය දැක්වීම ඔවුන්ගේ සිත්හි උපද වන්නෙමි.</verse>
				<verse number="41">එසේ ය, ඔවුන්ට යහපත කිරීම මට ඉමහත් ප්‍රීතියක් වනු ඇත. සැබැවින් මාගේ මුළු හෘදයෙන් ද මුළු සිතින් ද මේ දේශයෙහි ඔවුන් ස්ථීර ලෙස පදිංචි කරවන්නෙමි.</verse>
				<verse number="42">“ ‘මක්නිසා ද සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මා විසින් මේ සෙනඟ පිට මේ මුළු මහත් විපත පමුණුවනු ලැබ තිබෙන ලෙස මම ඔවුන්ට පොරොන්දු වූ සියලු යහපතත් ඔවුන් පිට පමුණුවන්නෙමි.</verse>
				<verse number="43">මනුෂ්‍යයෙකු වත්, මෘගයෙකු වත් නැති ව එය පාළුවක් වී බබිලෝනිවරුන්ගේ අතට පාවා දී තිබේ යයි නුඹලා කියන මේ දේශයෙහි යළිත් කෙත් මිලේට ගනු ලබන්නේ ය.</verse>
				<verse number="44">බෙන්ජමින්ගේ දේශයෙහිත්, ජෙරුසලම අසල ස්ථානවලත්, ජුදාහි නගරවලත් කඳු රටේ නගරවලත්, පහත රටේ නගරවලත්, දකුණු දිශාවේ නගරවලත් කෙත් මිලේට ගෙන, සාක්ෂිකාරයන් ඉදිරියෙහි ඔප්පු අත්සන් කොට මුද්‍රා කරනු ලබන්නේ ය. මක්නිසා ද, මම ඔවුන්ගේ සෞභාග්‍යය යළි උදා කරන්නෙමි’යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.”</verse>
			</chapter>
			<chapter number="33">
				<verse number="1">ජෙරමියා හිර ගෙදර මළුවේ හිරඅඩස්සියේ සිටිද්දී සමිඳාණන් වහන්සේගේ පණිවුඩය දෙ වන වරටත් ඔහු වෙත පැමිණියේ ය.</verse>
				<verse number="2">පොළොව මවා, එය පිහිටුවන පිණිස එය සකස් කළ ස්වාමීන් යන නාමය ඇති තැනැන් වහන්සේ ජෙරමියාට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="3">“මට යාච්ඤා කරන්න; එවිට මම නුඹට පිළිතුරු දී නුඹ නොදන්න, සැඟවී ඇති, වැදගත් සත්‍යයන් නුඹට දන්වන්නෙමි.</verse>
				<verse number="4">ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ වන මම ජෙරුසලමේ ඇති ගෙවල් ද ජුදාවේ රාජ මාලිගාව ද බිඳ හෙළා ගොඩනඟන ලද පස් කඳුවලට විරුද්ධ ව බබිලෝනිවරුන් සමඟ සටන් කරන්නට ගියොත්, මාගේ උදහසින් ද කෝපයෙන් ද ගසා දමන අයගේ මළකඳන්වලින් නගරය පිරී යනු ඇත. සෙනඟ කර ඇති දුෂ්ට ක්‍රියා නිසා මම මේ නගරයෙන් ඉවතට හැරී සිටිමි.</verse>
				<verse number="5">***</verse>
				<verse number="6">එහෙත්, මේ නගරයට මම සුව සෙත ගෙන දෙන්නෙමි. මම සෙනඟ සුවපත් කොට, සාමයෙන්, සුරක්ෂිතතාවෙන් ඔවුන්ට ප්‍රීතිය පෙන්වන්නෙමි.</verse>
				<verse number="7">ජුදාව ද ඉශ්රායෙලය ද මම මුල දී මෙන් යළිත් ගොඩනඟා, ඒ දෙරටට සෞභාග්‍යය දෙන්නෙමි.</verse>
				<verse number="8">ඔවුන් මට විරුද්ධ ව කළ ඔවුන්ගේ සියලු පාපයෙන් මම ඔවුන් පිරිසිදු කරන්නෙමි; මට විරුද්ධ ව පව් කිරීමෙන් ද මට විරුද්ධ ව ද්‍රෝහිකම් කිරීමෙන් ද කළ ඔවුන්ගේ සියලු ම අයුතුකම් ඔවුන්ට කමා කරන්නෙමි.</verse>
				<verse number="9">මා විසින් ඔවුන්ට කරනු ලබන සියලු යහපත ගැන අසන පොළොවේ සියලු ජාතීන් අතරේ, මේ නගරය මට ප්‍රීතියක් ද ප්‍රශංසාවක් ද ගෞරවයක් ද වන්නේ ය; මා ඊට කර දෙන සියලු යහපත හා සමගිය නිසා ඔව්හු බිය වී වෙවුළන්නෝ ය.”</verse>
				<verse number="10">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “එය සෙනඟ වත්, මෘගයන් වත් වාසය නොකරන කාන්තාරයක් වන්නේ යයි සෙනඟ කියති. ජුදාවේ නගර ද ජෙරුසලමේ වීදි ද හිස් බව සැබෑ ය; එහි සෙනඟ වත්, මෘගයෝ වත් නැත. එහෙත්, මේ තැන්වල යළිත්,</verse>
				<verse number="11">ප්‍රීති ප්‍රමෝද ශබ්ද ද මනාල මනාලියන්ගේ ප්‍රිය තෙපුල් ද මාගේ දේව මාලිගාවට තුති පඬුරු රැගෙන එන ගායකයින්ගේ ගී හඬ ද ඇසෙන්නේ ය. ඔවුන් මෙසේ ගයනු ඇත; ‘සව් බලැති සමිඳුන්ට තුති පුදන්න; එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ පෙම සදාකාලික ය.’ කලින් තිබූ ලෙස මේ දේශය මම යළිත් සෞභාග්‍යවත් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
				<verse number="12">සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මිනිහෙකු වත්, මෘගයෙකු වත් නැති ව පාළු වී ගිය මේ ස්ථානයෙහි ද මෙහි සියලු නගරවල ද තමන්ගේ රැළ ලග්ගවන එඬේරුන්ගේ වාසයක් නැවත වන්නේ ය.</verse>
				<verse number="13">කඳු රටේ නගරවල ද පහත රටේ නගරවල ද දකුණු දිශාවේ නගරවල ද බෙන්ජමින්ගේ දේශයෙහි ද ජෙරුසලම අසල ස්ථානවල ද ජුදාහි නගරවල ද එඬේරු රැළවල සිටින බැටළුවන් ගණන් කරන්නෝ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
				<verse number="14">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල් සෙනඟටත් ජුදා සෙනඟටත් මා කළ පොරොන්දුව ඉෂ්ට කරන කාලය පැමිණෙන්නේ ය.</verse>
				<verse number="15">ඒ දවස, ඒ අවදිය පැමිණි විට සැබෑ ලෙස දාවිත්ගේ පරපුරෙන් පැවත එන දැහැමි උතුමෙකු මම නැඟුටුවන්නෙමි. එතුමාණෝ දේශය මුළුල්ලේ සාධාරණ ව, යුක්තිසහගත ව කටයුතු කරන සේක.</verse>
				<verse number="16">ඒ කාලය පැමිණි විට ජුදාහි වැසියෝ ගළවනු ලබන්නෝ ය; ජෙරුසලමේ වැසියෝ ද සුව සේ වාසය කරන්නෝ ය. ඔවුන් සිය දේශයට දෙන නාමය, ‘සමිඳාණන් වහන්සේ අපේ මිදුම්කාරයාණෝ ය’ යනුයි.</verse>
				<verse number="17">ඉශ්රායෙල්හි රජ වන පිණිස සෑම කල්හි ම දාවිත්ගේ පරපුරෙන් කෙනකු නැඟී එන බවට මම පොරොන්දු වෙමි.</verse>
				<verse number="18">එසේ ම, මා ඉදිරියෙහි දවන යාග පූජා, ධාන්‍ය පූජා හා නිරතුරු යාග පූජා ඔප්පු කිරීමටත් ලෙවී පූජක වංශයේ පූජකයන්ගේ අඩුවක් නොවන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
				<verse number="19">සමිඳාණන් වහන්සේ ජෙරමියාට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="20">“දවාලත්, රාත්‍රියත් නියම වේලාවට නොපැමිණෙන ලෙස දවාලත්, රාත්‍රියත් සමඟ මා කර ඇති ගිවිසුම අවලංගු කිරීමට නුඹලාට පුළුවන්කමක් නැත.</verse>
				<verse number="21">එලෙස ම ඉශ්රායෙල්හි රජකම් කරන පිණිස සෑම කල්හි ම දාවිත්ගේ පරපුරෙන් කෙනෙකු නැඟී එන බවට මාගේ මෙහෙකරු වූ දාවිත් සමඟ මා කළ ගිවිසුමත්, මාගේ සේවක පූජකයන් වන ලෙවීවරුන් සමඟ මා කළ ගිවිසුමත් අවලංගු කිරීමට පුළුවන්කමක් නැත.</verse>
				<verse number="22">ගණන් නොකළ හැකි තරම් අහසේ තරු ද මුහුදේ වැලි ද මෙන් මාගේ මෙහෙකරු වූ දාවිත්ගේ වංශය ද මට සේවය කරන ලෙවීවරුන් ද මම වැඩි කරන්නෙමි.”</verse>
				<verse number="23">සමිඳාණන් වහන්සේ ජෙරමියාට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="24">“සමිඳාණන් වහන්සේ තෝරාගත් වංශ දෙක උන් වහන්සේ ප්‍රතික්ෂේප කළ සේකැ”යි මේ සෙනඟ කියනු නුඹ නොදන්නෙහි ද? එබැවින් ඔව්හු මාගේ සෙනඟ හෙළා දකිමින් ඔවුන් ජාතියක් වශයෙන් නොසලකති.</verse>
				<verse number="25">එහෙත්, ස්වාමීන් වන මම දවාලත්, රාත්‍රියත් සමඟ ද අහසත්, පොළොවත් මෙහෙයවන නීති රීති සමඟ ද ගිවිසුමක් පිහිටෙව්වෙමි.</verse>
				<verse number="26">“මා එය ස්ථිර ලෙස කළාක් මෙන් ජාකොබ්ගේ පරපුර සමඟත්, මාගේ මෙහෙකරු වූ දාවිත් සමඟත් මා කළ ගිවිසුම මම නොකඩවා ස්ථිරව ම පවත්වන්නෙමි. ආබ්‍රහම්ගෙන් ද ඊසාක්ගෙන් ද ජාකොබ්ගෙන් ද පැවත එන්නන් කෙරෙහි රජකම් කරන පිණිස දාවිත්ගේ පරපුරෙන් කෙනෙකු මම තෝරාගතිමි. මාගේ සෙනඟ මම යළිත් සෞභාග්‍යවත් කරන්නෙමි. මම ඔවුන්ට අනුකම්පා කරන්නෙමි.”</verse>
			</chapter>
			<chapter number="34">
				<verse number="1">බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් ද ඔහුගේ මුළු සේනාව ද ඔහුගේ පාලනය යටතේ තිබුණු සියලු රට රාජ්‍යයන් ද සියලු ජනයන් ද ජෙරුසලමටත්, ඊට අයිති සියලු නගරවලටත් විරුද්ධ ව යුද්ධ කරද්දී සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක.</verse>
				<verse number="2">ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ ජෙරමියා අමතා ජුදාහි රජු වූ ශෙදෙකියා වෙත ගොස් ඔහුට මෙසේ කියන්නැ යි වදාළ සේක: “ස්වාමින් වන මම මෙසේ වදාරමි. බලන්න, මම මේ නගරය බබිලෝනියේ රජු අතට, පාවා දෙමි. ඔහු එය ගින්නෙන් දවාලන්නේ ය.</verse>
				<verse number="3">නුඹ ද ඔහුගේ අතින් නො ගැළවී, සැබැවින් අසු වී, ඔහු අතට පාවා දෙනු ලබන්නෙහි ය. නුඹ බබිලෝනියේ රජු සමඟ මුහුණට මුහුණ ලා සිට ඔහු සමඟ පෞද්ගලික වශයෙන් කතා කරන්නෙහි ය. ඉන්පසු නුඹ බබිලෝනියට යනු ඇත.</verse>
				<verse number="4">එහෙත්, ජුදාහි රජු වන ශෙදෙකියා, ස්වාමීන් වන මම නුඹ ගැන කියන දේට සවන් දෙන්න. නුඹ යුද්ධයේ දී නොමැරෙන්නෙහි ය.</verse>
				<verse number="5">නුඹ සාමදානයෙන් මැරෙන්නෙහි ය; නුඹට කලින් සිටි නුඹේ මුතුන්මිත්තන් වූ රජවරුන් භූමදාන කොට, සෙනඟ සුවඳ දුම් ඇල්ලුවාක් මෙන් නුඹටත් එසේ ම කර, ‘අහෝ ස්වාමීනි’ කියා විලාප කියනු ඇත. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.”</verse>
				<verse number="6">දිවැසිවර ජෙරමියා මේ සියලු දේ ජෙරුසලමේ දී ජුදාවේ රජු වූ ශෙදෙකියාට කීවේ ය.</verse>
				<verse number="7">ඒ අවස්ථාවේ දී බබිලෝනියේ රජුගේ සේනාව ජෙරුසලම් නගරයට පහර දෙමින් සිටියෝ ය. ජුදාවේ බලකොටු අතරෙන් අල්ලා නොගෙන තිබූ නගරවලින් ඉතිරි වූ ලාකීෂ්ට හා අසේකාට ද ඔව්හු පහර දෙමින් සිටියෝ ය.</verse>
				<verse number="8">ඔවුන්ගේ වහලුන් නිදහස් කර හැරීමට ජෙරුසලමේ සියලු සෙනඟ සමඟ ශෙදෙකියා රජ ගිවිසුමක් කළ පසු සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක.</verse>
				<verse number="9">කිසිවෙකු තමාගේ සහෝදර ජුදෙව්වෙකු තමාට යටත් කර නොගන්න පිණිස, හැම කෙනෙකු ම තමාගේ ගැහැණු හෝ පිරිමි හෝ ජුදෙව් වහලුන් නිදහස් කර හැරිය යුතු යයි ඔව්හු ගිවිසුමක් කරගත්හ.</verse>
				<verse number="10">තම තමන්ගේ ගැහැණු-පිරිමි වහලුන් යටත් කර තබා නොගෙන ඔවුන් නිදහස් කර හරින හැටියට කරගත් ගිවිසුමට සියලු අධිපතීහු ද මුළු සෙනඟ ද එකඟ වී ඔවුන් නිදහස් කොට යන්නට හැරියෝ ය.</verse>
				<verse number="11">එහෙත්, පසු ව ඔව්හු සිත වෙනස් කරගෙන නිදහස් කර හැරිය ගැහැණු-පිරිමි වහලුන් නැවත ගෙනවුත් වහලුන් වශයෙන් බලහත්කාරයෙන් යටත් කරගත්තෝ ය.</verse>
				<verse number="12">එබැවින් සමිඳාණන් වහන්සේ ජෙරමියාට මෙසේ වදාළ සේක.</verse>
				<verse number="13">“ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම නුඹේ ආදි පියවරුන් වහල්කමින් නිදහස් කර, මිසර දේශයෙන් ගෙනා විට මම ඔවුන් සමඟ ගිවිසුමක් කෙළෙමි.</verse>
				<verse number="14">නුඹලාට විකුණනු ලැබ, හය වසක් නුඹලාට සේවය කළ පසු නුඹලාගේ සහෝදර හෙබ්‍රේවරුන් එකිනෙකා නිදහස් කර හැරිය යුතු යයි මම කීවෙමි. එහෙත්, නුඹලාගේ ආදි පියවරුන් මට සවන් දුන්නේ වත්, මා කී දේ සිතට ගත්තේ වත් නැත.</verse>
				<verse number="15">මෑතක දී නුඹලා නුඹලාගේ සිත් වෙනස් කරගෙන මා ප්‍රසන්න දේ කළහු ය. නුඹලාගේ සහෝදර හෙබ්‍රේවරුන්ට නිදහස ප්‍රකාශ කිරීමට මාගේ නමින් සාදන ලද දේව මාලිගාවේ දී මා ඉදිරියෙහි නුඹලා ගිවිසුමක් කළහු ය.</verse>
				<verse number="16">එහෙත්, නුඹලා ඒ අදහස වෙනස් කරගෙන මාගේ නාමයට අගෞරව කළහු ය. ඔවුන්ගේ කැමැත්ත පරිදි නුඹලා නිදහස් කර යැවූ ස්ත්‍රී-පුරුෂ වහලුන් නුඹලා එකිනෙකා නැවත ගෙනවුත් නුඹලාගේ වහල් සේවයට බල කළහු ය.</verse>
				<verse number="17">එබැවින් ස්වාමීන් වන මම මෙසේ කියමි. නුඹලා මට අකීකරු වී, නුඹලාගේ සහෝදර අසල්වැසි හෙබ්‍රේවරුන්ට නිදහස ප්‍රකාශ නොකළහු ය. ඒ නිසා කඩුවට ද වසංගතයට ද සාගතයට ද මම නුඹලා පාවා දෙන්නෙමි. මා නුඹලාට කරන දේ ගැන පොළොවේ සියලු ජාතීන් තැති ගැනීමට මම සලස්වන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="18">ජුදාහි අධිපතීහු ද ජෙරුසලමේ අධිපතීහු ද නපුංසකයෝ ද පූජකයෝ ද දේශයේ සියලු සෙනඟ ද ඔවුන් විසින් දෙපළු කරන ලද වස්සෙකුගේ පළු දෙක මැදින් ගමන් කර මා සමඟ ගිවිසුමක් කළෝ ය. එහෙත්, ඔව්හු මා ඉදිරියේ කළ ගිවිසුම කඩ කර එහි කොන්දේසි ඉටු නොකළෝ ය. ඒ නිසා ඔවුන් වස්සාට කළ දේ මම ඔවුන්ට කරමි.</verse>
				<verse number="19">***</verse>
				<verse number="20">මම ඔවුන්ගේ සතුරන්ට ඔවුන් පාවා දෙන්නෙමි, ඔවුන්ගේ ප්‍රාණ හානි කරන්නට සොයන්නන් අතට මම ඔවුන් පාවා දෙන්නෙමි. ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත්, පොළොවේ මෘගයන්ටත් ගොදුරුවන්නේ ය.</verse>
				<verse number="21">මම ජුදා රජු වූ ශෙදෙකියා ද ඔහුගේ අධිපතීන් ද ඔවුන්ගේ සතුරන් අතටත්, ඔවුන්ගේ ප්‍රාණ හානි කරන්නට සොයන්නන් අතටත්, නුඹලා වෙතින් ඈත් ව ගිය බබිලෝනියේ රජුගේ සේනාව අතටත් පාවා දෙන්නෙමි.</verse>
				<verse number="22">මම අණ කොට මේ නගරය කරා ඔවුන් නැවත ගෙනෙන්නෙමි; ඔව්හු ඊට විරුද්ධ ව යුද්ධ කොට, ඒක අල්ලා ගින්නෙන් දවාදමන්නෝ ය. එහි වැසියෙකු නොසිටින ලෙස මම ජුදාහි නගර පාළු කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
			</chapter>
			<chapter number="35">
				<verse number="1">ජොෂියාගේ පුත් ජුදාහි රජු වන ජෙහෝයාකිම් රජුගේ දවසේ සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කොට,</verse>
				<verse number="2">“නුඹ රේකාබ්වරුන්ගේ වංශය වෙත ගොස්, ඔවුන් සමඟ කතා කොට, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු කාමරයට ඔවුන් කැඳවාගෙන අවුත් ඔවුන්ට මුද්‍රික පානය බොන්නට දෙන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="3">එකල මම හබශ්ශිනියාගේ පුත්‍රයා වන ජෙරමියාගේ පුත් ජාශනියා ද ඔහුගේ සහෝදරයන් ද ඔහුගේ සියලු පුත්‍රයන් ද රේකාබ්වරුන්ගේ මුළු වංශය ද අඬගසාගෙන,</verse>
				<verse number="4">සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ෂල්ලුම්ගේ පුත් දොරටු පාලකයා වන මයසේයාගේ ඇතුළු ගෙට ඉහළින් තිබූ අධිපතීන්ගේ ඇතුළු ගෙට යාව තිබුණු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන ඉග්දලියාගේ පුත් හානාන්ගේ පුත්‍රයන්ගේ ඇතුළු ගෙට පැමිණියෙමි.</verse>
				<verse number="5">මම මුද්‍රික පානය පුරවා තිබුණු භාජන සහ කුසලාන් රේකාබ් වංශයේ පුත්‍රයන් ඉදිරියෙහි තබා, “මුද්‍රික පානය බොන්නැ”යි කීමි.</verse>
				<verse number="6">එහෙත්, ඔව්හු මෙසේ කීවෝ ය: “අපි මුද්‍රික පානය නොබොම්හ. මක්නිසා ද, අපේ පිය වූ රේකාබ්ගේ පුත්‍ර වූ ජෝනාදාබ් අපට අණ කරමින්, ‘නුඹලා වත්, නුඹලාගේ පුත්‍රයන් වත් සදහට ම මුද්‍රික පානය නොබී සිටින්න:</verse>
				<verse number="7">ගෙයක් ගොඩනැඟීම වත්, බීජ වැපිරීම වත්, මිදි වත්තක් වැවීම වත්, යමක් අයිති කරගැනීම වත් නොකළ යුතු ය. නුඹලා තාවකාලික ව සිටින දේශයෙහි බොහෝ දවස් ජීවත් වන පිණිස නුඹලාගේ මුළු ජීවිත කාලය කූඩාරම්වල වාසය කරන්නැ’යි කීවේ ය.</verse>
				<verse number="8">අපි වනාහි අපේ පිය වූ රේකාබ්ගේ පුත්‍ර වූ ජෝනාදාබ් අපට අණ කළ සියල්ල නොපිරිහෙළා පිළිපදිමින් ඔහුගේ හඬට කීකරු වීමු; කිසි කලක අපි වත්, අපේ භාර්යාවෝ වත්, අපේ පුත්‍රයෝ වත්, අපේ දූවරු වත් මුද්‍රික පානය නොබීවෙමු.</verse>
				<verse number="9">අපට වාසය කිරීමට ගෙවල් අපි නොතැනුවෙමු. අපට මිදි වත්තක් වත්, කෙතක් වත්, බීජ වත් නැත.</verse>
				<verse number="10">අපි කූඩාරම්වල වාසය කොට, අපේ පිය වූ ජෝනාදාබ්ට කීකරු ව, ඔහු අපට අණ කළ සියල්ල ඉටු කෙළෙමු.</verse>
				<verse number="11">එහෙත්, බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් අප දේශයට විරුද්ධ ව ආ කල අපි කතා කොට, ‘එන්න, අපි බබිලෝනිවරුන්ගේ සේනාව ද සිරියන්වරුන්ගේ සේනාව ද නිසා ජෙරුසලමට ඇතුළු වෙමු’යි කීවෙමු. මෙසේ අපි ජෙරුසලමෙහි වාසය කරමු.”</verse>
				<verse number="12">එකල සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ජෙරමියා වෙත පැමිණියේ ය.</verse>
				<verse number="13">ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “නුඹ ගොස් ජුදාහි මිනිසුන්ටත්, ජෙරුසලමේ වැසියන්ටත් මෙසේ කියන්න: ‘මාගේ වචනවලට නුඹලා කීකරු වන්නේ වත්, මාගේ අනුශාසනා නුඹලා පිළිගන්නේ වත් නැද්දැ යි ස්වාමීන් වන මම අසමි.</verse>
				<verse number="14">රේකාබ්ගේ පුත්‍ර වූ ජෝනාදාබ් මුද්‍රික පානය බොන්නට එපා ය කියා තමාගේ පුත්‍රයන්ට දුන් අණ ඔවුන් විසින් පිළිපදින ලද්දේ ය. ඔව්හු අද දක්වා ඒවා නොබී තමන්ගේ පියාගේ අණට කීකරු වෙති. එහෙත්, මුල සිට ම මා නුඹලාට කතා කළ නමුත්, නුඹලා මට ඇහුම්කන් නුදුන්නහු ය.</verse>
				<verse number="15">මාගේ සියලු සේවක දිවැසිවරුන් නොකඩවා නුඹලා ළඟට ගොස් මෙසේ ප්‍රකාශ කිරීමට නැවත නැවත එවීමි. ‘නුඹලා එකිනෙකා තම තමාගේ පාප මාර්ගයෙන් හැරී එන්න; නුඹලාගේ ක්‍රියා මාර්ගය හැඩගස්වා ගන්න; අන් දෙවිවරුන්ට සේවය කරන්නට ඔවුන් පස්සේ නොයන්න; එවිට නුඹලාටත්, නුඹලාගේ පියවරුන්ටත් මා විසින් දෙන ලද දේශයෙහි නුඹලා වාසය කරන්නහු ය’යි කීවෙමි. එහෙත්, නුඹලා කන්යොමු කර සවන් නුදුන්නහු ය; කී දේ සිතට ගත්තේ නැත.</verse>
				<verse number="16">රේකාබ්ගේ පුත් ජෝනාදාබ්ගේ පුත්‍රයෝ ඔවුන්ගේ පියා ඔවුන්ට දුන් අණ ඉෂ්ට කළෝ ය. එහෙත්, මේ සෙනඟ මට සවන් නුදුන්නෝ ය.</verse>
				<verse number="17">එබැවින්, ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වන මම ජුදාවරුන්ටත්, ජෙරුසලමේ සියලු වැසියන්ටත් විරුද්ධ ව මා කී සියලු විපත් ඔවුන් පිට පමුණුවන්නෙමි. මන්ද, මා ඔවුන්ට කතා කළ නමුත්, ඔව්හු සවන් නුදුන්නෝ ය. මා ඔවුන්ට අඬගැසූ නමුත්, ඔව්හු උත්තර නුදුන්නෝ ය.’ “</verse>
				<verse number="18">එවිට ජෙරමියා රේකාබ්වරුන්ගේ වංශයට කතා කොට, මෙසේ කීවේ ය: “ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. නුඹලාගේ පිය වූ ජෝනාදාබ්ගේ අණට නුඹලා කීකරු ව, ඔහුගේ සෑම ශික්ෂා රක්ෂා කර, ඔහු නුඹලාට අණ කළ සියල්ල ඉටු කළහු ය.</verse>
				<verse number="19">සෑම කල්හි ම මා ඉදිරියෙහි සිටින්නට රේකාබ්ගේ පුත්‍ර වූ ජෝනාදාබ්ගෙන් පැවත එන කෙනෙක් නැති ව නොයන්නේ ය. ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”</verse>
			</chapter>
			<chapter number="36">
				<verse number="1">ජොෂියාගේ පුත් ජුදාහි රජ වූ ජෙහෝයාකිම්ගේ සතර වන අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේ ජෙරමියාට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“නුඹ අකුළන පොතක් රැගෙන, ජොෂියාගේ දවස්වල දී මා නුඹට වදාළ දින පටන් අද දවස දක්වා ඉශ්රායෙල්වරුන් ද ජුදාවරුන් ද සියලු ජාතීන් ද ගැන මා නුඹට කී සියලු ම වචන එහි ලියන්න.</verse>
				<verse number="3">මා ජුදා වංශයට කරන්නට අදහස් කරන සියලු විපත්ති ගැන සමහර විට ඔවුන් අසා, ඔවුන්ගේ නපුරු මාර්ගයෙන් හැරෙනු ඇත. එවිට මම ඔවුන්ගේ අපරාධයත්, පාපයත් කමා කරන්නෙමි.”</verse>
				<verse number="4">එවිට ජෙරමියා නේරියාගේ පුත් බාරුක් කැඳවාගත්තේ ය; බාරුක් ද සමිඳාණන් වහන්සේ ජෙරමියාට කියා තිබුණ, උන් වහන්සේගේ සියලු ම වචන ඔහුගේ මුඛයෙන් අසා අකුළන පොතක ලියුවේ ය.</verse>
				<verse number="5">ජෙරමියා බාරුක්ට අණ කරමින් මෙසේ කීවේ ය: “මා හිරඅඩස්සි වී සිටින බැවින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වීමට මට නොහැකි ය.</verse>
				<verse number="6">එබැවින් ඔබ ඇතුළු වී, ඔබ මාගේ මුඛයෙන් අසා ලියා තිබෙන පොතෙන්, සමිඳාණන් වහන්සේගේ වචන, උපවාස දවසේ දී සෙනඟ අසන පිණිස, සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි දී කියවන්න. තම තමන්ගේ නගරවලින් එන සියලු ජුදා මිනිසුන්ට ඇසෙන පිණිස ඒවා ඔවුන්ට කියවන්න.</verse>
				<verse number="7">සමහර විට ඔවුන් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කන්නලව් කොට, යාච්ඤා කොට, එක එකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරෙනු ඇත. මන්ද, සමිඳාණන් වහන්සේ මේ සෙනඟට විරුද්ධ ව ප්‍රකාශ කර තිබෙන උදහස සහ කෝපය ඉමහත් ය.”</verse>
				<verse number="8">නේරියාගේ පුත් බාරුක් ද දිවැසිවරයා වූ ජෙරමියා තමාට අණ කළ සියල්ල ලෙස කරමින්, සමිඳාණන් වහන්සේගේ වචන සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දී පොතෙන් කියෙව්වේ ය.</verse>
				<verse number="9">තවද, ජොෂියාගේ පුත් ජුදාහි රජු වූ ජෙහෝයාකිම්ගේ පස් වන අවුරුද්දේ නව වන මාසයේ දී ජෙරුසලමේ මුළු සෙනඟ ද ජුදාහි නගරවලින් ජෙරුසලමට ආ මුළු සෙනඟ ද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි උපවාසයක් පැවැත්වූ හ.</verse>
				<verse number="10">එවිට බාරුක් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ඉහළ මළුවේ, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අලුත් දොරටුව ළඟ තිබුණ, ලේකම් වන ෂාපාන්ගේ පුත් ගෙමරියාගේ ඇතුළු ගෙයි සිට ජෙරමියාගේ වචන සෙනඟට ඇසෙන පිණිස පොතෙන් කියෙව්වේ ය.</verse>
				<verse number="11">ෂාපාන්ගේ පුත් ගෙමරියාගේ පුත් මීකායා සමිඳාණන් වහන්සේගේ සියලු වචන පොතෙන් කියවනු ඇසූ කල,</verse>
				<verse number="12">ඔහු ලේකම්ගේ ඇතුළු ගෙට බැස රජ ගෙදරට ගියේ ය. එහි සියලු අධිපතියන් වන එලිෂාමා ලේකම් ද ෂෙමායාගේ පුත් දෙලායා ද අක්බෝර්ගේ පුත් එල්නාතාන් ද ෂාපාන්ගේ පුත් ගෙමරියා ද හනනියාගේ පුත් ශෙදෙකියා ද අනික් සියලු අධිපතියෝ ද වාඩි වී සිටියහ.</verse>
				<verse number="13">එවිට සෙනඟට ඇසෙන පිණිස බාරුක් පොත කියවන විට තමා ඇසූ සියලු වචන මීකායා ඔවුන්ට දැන්වී ය.</verse>
				<verse number="14">එවිට සියලු අධිපතීහු ද කුෂීගේ පුත් ෂෙලෙමියාගේ පුත් නෙතනියාගේ පුත් ජෙහුදී, බාරුක් ළඟට යවමින්, සෙනඟට ඇසෙන පිණිස ඔහු කියෙවූ පොත රැගෙන එන ලෙස කියා යැව්වෝ ය. නේරියාගේ පුත් බාරුක් පොත අතින් ගෙන ඔවුන් වෙත පැමිණියේ ය.</verse>
				<verse number="15">ඔව්හු බාරුක් අමතා, “කරුණාකර වාඩි වී අපට ඇසෙන පිණිස ඔය පොත කියවන්නැ”යි කී හ. බාරුක් ඔවුන්ට ඇසෙන පරිදි එය කියෙවුවේ ය.</verse>
				<verse number="16">තවද, ඔව්හු ඒ සියලු වචන අසා, බියපත් වී, එකිනෙකා දෙසට හැරී, “අප ඇසූ මේ සියලු වචන අපි සැබැවින් රජුට දන්වන්නෙමු”යි බාරුක්ට කීවෝ ය.</verse>
				<verse number="17">තවද, ඔව්හු බාරුක් අමතා, “ඔබ මේ සියලු වචන ලියුවේ කෙසේ දැ යි අපට කියන්න; ඒවා ජෙරමියාගේ මුවින් ම ඔබ ඇසුවෙහි දැ”යි විමසූ හ.</verse>
				<verse number="18">බාරුක් පිළිතුරු දෙමින්, “ජෙරමියා මේ සියලු වචන සිය මුවින් මට කියන විට මම ඒවා පොතෙහි තීන්තෙන් ලිවීමි”යි කීවේ ය.</verse>
				<verse number="19">එවිට අධිපතීහු කතා කරමින්, “ඔබ දෙදෙනා කොතැන සිටිත් ද කියා කිසිවෙකු දැන නොගන්න ලෙස ඔබත්, ජෙරමියාත් ගොස් සැඟවී සිටින්නැ”යි බාරුක්ට කීවෝ ය.</verse>
				<verse number="20">එවිට නිලධාරීහු එලිෂාමා ලේකම්ගේ ඇතුළු ගෙයි පොත තබා රජු ළඟට මළුවට ගොස් රජු අසා සිටිය දී ඒ සියලු වචන කීවෝ ය.</verse>
				<verse number="21">රජතුමා පොත ගෙනෙන්නට ජෙහුදී යැවී ය. ඔහු එලිෂාමා ලේකම්ගේ ඇතුළු ගෙයින් එය ගෙනවුත් රජුටත්, රජු ළඟ සිටි සියලු අධිපතීන්ටත් ඇසෙන ලෙස එය කියෙව්වේ ය.</verse>
				<verse number="22">එය නව වන මාසය විය; රජ සිසිර විමානයේ සිටියේ ය. ඔහු ඉදිරියේ ගිනි භාජනයෙහි ගිනි දැල්වෙමින් තිබිණි.</verse>
				<verse number="23">ජෙහුදී පොතෙන් තීරු තුන හතරක් කියෙවූ කල රජ තෙමේ ලියන්නාගේ පිහියෙන් ඒක කපා භාජනයෙහි තිබුණු ගින්නට දැමුවේ ය. එවිට භාජනයෙහි තිබුණු ගින්නෙන් මුළු පොත දැවී ගියේ ය.</verse>
				<verse number="24">එහෙත්, රජ වත්, මේ සියලු වචන ඇසූ ඔහුගේ සියලු සේවකයෝ වත් බියපත් නො වූ හ; දුකින් තමන්ගේ වස්ත්‍ර ඉරා නොගත්තෝ ය.</verse>
				<verse number="25">තවද, එල්නාතන් ද දෙලායා ද ගෙමරියා ද පොත නොදවන ලෙස රජුගෙන් ඉල්ලා සිටියෝ ය. එහෙත්, ඔහු ඔවුන්ට සවන් නුදුන්නේ ය.</verse>
				<verse number="26">රජ වනාහි ලේකම් තැන වන බාරුක් සහ දිවැසිවරයා වන ජෙරමියා අල්ලාගෙන එන ලෙස රාජ පුත් ජෙරාමෙයෙල්ටත්, අශ්‍රීයෙල්ගේ පුත් සෙරායාටත්, අබ්දෙයෙල්ගේ පුත් ෂෙලෙමියාටත් අණ කෙළේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ ඔවුන් සඟවා ලූ සේක.</verse>
				<verse number="27">බාරුක් ජෙරමියාගේ මුවින් ඇසූ වචන සටහන් කළ පොත රජතුමා පුළුස්සාදැමූ පසු, සමිඳාණන් වහන්සේ යළිත් ජෙරමියාට කතා කොට,</verse>
				<verse number="28">“තවත් පොතක් ගෙන, ජුදාහි රජු වූ ජෙහෝයාකිම් දවා ලූ පළමු පොතේ තිබූ සියලු වචන එහි ලියන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="29">“ජුදාහි ජෙහෝයාකිම් රජු ගැන මෙසේ කියන්නැ”යි ද සමිඳාණන් වහන්සේ ජෙරමියාට වදාළ සේක. “බබිලෝනියේ රජ අවුත් මේ දේශය විනාශ කර, මෙතැනින් මනුෂ්‍යයන් ද මෘගයන් ද පහ කරදමන්නේ ය කියා නුඹ මේ පොතෙහි ලියුවේ කුමක් නිසා දැ යි අසමින් නුඹ ඒ පොත පුළුස්සා දැමුවෙහි ය.</verse>
				<verse number="30">එබැවින් ස්වාමීන් වන මම ජුදාහි රජු වන ජෙහෝයාකිම් වන නුඹට මෙසේ කියමි. දාවිත්ගේ සිංහාසනයෙහි හිඳගැනීමට කිසි ම කෙනෙක් නුඹේ මතුපරම්පරාවෙන් නොපැමිණෙන්නේ ය. නුඹේ මළකඳ දවාලේ ග්‍රීෂ්මයටත්, රාත්‍රියේ ශීතලයටත් පිටත හෙළාදමනු ලබන්නේ ය.</verse>
				<verse number="31">මම නුඹටත්, නුඹේ වංශයටත්, නුඹේ සේවකයන්ටත් නුඹලා සියලු දෙනාගේ අපරාධ නිසා දඬුවම් කරන්නෙමි. නුඹ වත්, ජෙරුසලමේ හා ජුදාවේ වැසියන් වත් මට සවන් නුදුන් නිසා මම නුඹලාට විරුද්ධ ව ප්‍රකාශ කළ සියලු විපත්ති නුඹලා පිට පමුණුවන්නෙමි.”</verse>
				<verse number="32">එවිට ජෙරමියා වෙන පොතක් ගෙන නේරියාගේ පුත් බාරුක් නම් ඔහුගේ ලේකම්ට දුන්නේ ය. ඔහු ද ජුදාහි රජු වූ ජෙහෝයාකිම් ගින්නෙන් දවාදැමූ පොතේ සියලු වචන ජෙරමියාගේ මුවින් අසාගෙන එහි ලිව්වේ ය. ඒ පොතට තවත් බොහෝ වචන ද එකතු කරන ලද්දේ ය.</verse>
			</chapter>
			<chapter number="37">
				<verse number="1">ජෙහෝයාකිම්ගේ පුත් කෝනියා වෙනුවට බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් විසින් ජුදා දේශයෙහි ජොෂියාගේ පුත් ශෙදෙකියා රජකමට පත් කරනු ලැබ ඔහු රජකම් කෙළේ ය.</verse>
				<verse number="2">එහෙත්, ඔහු වත්, ඔහුගේ සේවකයෝ වත්, දේශයේ සෙනඟ වත් සමිඳාණන් වහන්සේගේ දිවැසිවරයා වන ජෙරමියා මඟින් ප්‍රකාශ කරන ලද උන් වහන්සේගේ වචනවලට සවන් නුදුන්නෝ ය.</verse>
				<verse number="3">එහෙත්, ශෙදෙකියා රජු ෂෙලෙමියාගේ පුත් ජෙහුකල් ද පූජක වූ මයසේයාගේ පුත් ශෙපනියා ද අත, “අනේ! අප උදෙසා අපේ දෙවි ස්වාමීන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි දිවැසිවරයා වන ජෙරමියාට කියා යැවී ය.</verse>
				<verse number="4">සෙනඟ අතරේ නිදහසේ යමින් එමින් ජෙරමියා සිටියේ ය. මන්ද, ඒතාක් කල් ඔවුන් ඔහු හිරගෙයි දමා තිබුණේ නැත.</verse>
				<verse number="5">ඒ අතරතුරේ දී පාරාවෝගේ සේනාව මිසරයෙන් පිටත් ව ආවෝ ය. ජෙරුසලම වටලාගෙන සිටි බබිලෝනිවරු ඒ ආරංචිය අසා ජෙරුසලමෙන් ඉවත් ව ගියෝ ය.</verse>
				<verse number="6">එවිට ඉශ්රායෙල්හි දෙවි ස්වාමීන් වහන්සේ දිවැසිවර ජෙරමියාට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="7">“මාගෙන් විමසන පිණිස නුඹලා මා වෙත එවූ ජුදාහි රජුට මෙසේ කියන්න: ‘මෙන්න, නුඹලාට සහායට පැමිණි පාරාවෝගේ සේනාව තමන්ගේ දේශය වන මිසරයට හැරී යනු ඇත.</verse>
				<verse number="8">බබිලෝනිවරුන් හැරී අවුත් මේ නුවරට විරුද්ධ ව යුද්ධ කොට, මේක අල්ලා ගින්නෙන් දවාදමනු ඇත.</verse>
				<verse number="9">බබිලෝනිවරුන් ආපසු නොඑති යි සිතමින් නොරැවටෙන ලෙස ස්වාමීන් වන මම නුඹලාට අවවාද කරමි. ඔවුන් ආපසු එනු ඇත.</verse>
				<verse number="10">නුඹලාට විරුද්ධ ව යුද්ධ කරන බබිලෝනිවරුන්ගේ මුළු සේනාවට නුඹලා පහර දී ඔවුන් අතරෙන් දරුණු තුවාළ ලත් අය පමණක් ඔවුන්ගේ කූඩාරම් වල ඉතිරි කරන නමුත්, ඔවුන් නැඟිට මේ නගරය ගින්නෙන් දවා දමනු ඇත.’ “</verse>
				<verse number="11">තවද, පාරාවෝගේ සේනාවට බියෙන් බබිලෝනිවරුන්ගේ සේනාව ජෙරුසලම කෙරෙන් ගිය කල,</verse>
				<verse number="12">ජෙරමියා බෙන්ජමින් දේශයේ සෙනඟ අතරේ තමාගේ උරුම කොටස ලබාගන්න පිණිස ජෙරුසලමෙන් පිටත් ව ගියේ ය.</verse>
				<verse number="13">ඔහු බෙන්ජමින් දේශයේ දොරටුවට පැමිණි කල, හනනියාගේ පුත් ෂෙලෙමියාගේ පුත් වන ඉරියා නම් මුරපළේ මුලාදෑනියෙක් එහි සිටියේ ය. ඔහු දිවැසිවර ජෙරමියා අල්ලාගෙන, “ඔබ බබිලෝනිවරුන්ට එකතු වන්නට යන්නෙහි ය”යි කී ය.</verse>
				<verse number="14">“එය බොරුවක් ය; මම බබිලෝනිවරුන්ට එකතු වන්නට නොයමි”යි ජෙරමියා කී ය. එහෙත්, ඉරියා ජෙරමියාට සවන් නො දී, ඔහු අල්ලාගෙන, අධිපතීන් ළඟට ගෙන ගියේ ය.</verse>
				<verse number="15">එවිට අධිපතීහු ජෙරමියාට විරුද්ධ ව කිපී, ඔහුට තළා හිර නිවසක් මෙන් සැලකුණ ජොනතන් ලේකම්ගේ ගෙයි ඔහු හිර අඩස්සි කළෝ ය.</verse>
				<verse number="16">ජෙරමියා හිරගෙයි බිම්ගෙවලට පැමිණ එහි බොහෝ දවස් නැවතී සිටි පසු, ශෙදෙකියා රජු ඔහු කැඳවා ඔහු පිළිගෙන,</verse>
				<verse number="17">“සමිඳාණන් වහන්සේගෙන් පණිවුඩයක් තිබේ දැ”යි තමාගේ මාලිගාවේ දී රහසින් ඔහුගෙන් ඇසුවේ ය. ජෙරමියා ද, “පණිවුඩයක් තිබේ. ඔබ බබිලෝනියේ රජුගේ අතට අසු වන්නෙහි ය”යි කීවේ ය.</verse>
				<verse number="18">තවද, ජෙරමියා ශෙදෙකියා රජුට කතා කොට, “මා හිරගෙයි දැමීමට ඔබට වත්, ඔබේ සේවකයන්ට වත්, මේ සෙනඟට වත් විරුද්ධ ව මා කළ වරද කුමක් ද?</verse>
				<verse number="19">‘බබිලෝනියේ රජ ඔබට වත්, මේ දේශයට වත් විරුද්ධ ව නොඑන්නේ යැ’යි ඔබට දිවැස් වැකි කීවාවූ ඔබේ දිවැසිවරයා ඉතින් කොයි ද?</verse>
				<verse number="20">එබැවින් මාගේ ස්වාමීන් වන රජතුමනි, අනේ! මාගේ බස් අසා, මාගේ කන්නලව්ව පිළිගෙන, මා එහි නොනසින පිණිස ජොනතන් ලේකම්ගේ ගෙට මා නැවත නොහැරිය මැනව”යි කීවේ ය.</verse>
				<verse number="21">ශෙදෙකියා රජ ද ජෙරමියා හිරගෙයි රැකවල් මළුවට යවන්නටත්, රොටි සියල්ල ම නගරයෙන් ඉවර වී යන තුරු දවස්පතා රොටියක් බැගින් රොටි සාදන්නන්ගේ වීදියෙන් ඔහුට ගෙන දෙන්නටත් අණ දුන්නේ ය. මෙසේ ජෙරමියා රැකවල් මළුවෙහි නැවතී සිටියේ ය.</verse>
			</chapter>
			<chapter number="38">
				<verse number="1">එකල මත්තාන්ගේ පුත් ෂෙපතියා ද පෂ්හුර්ගේ පුත් ගෙදලියා ද ෂෙලෙමියාගේ පුත් ජුකල් ද මල්කියාගේ පුත් පෂ්හුර් ද ජෙරමියා සියලු සෙනඟට කී වචන ඇසූ හ.</verse>
				<verse number="2">“සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේකැ”යි ජෙරමියා කීවේ ය: “මේ නගරයේ නවතින යමෙක් වේ ද, ඔහු කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද මැරෙන්නේ ය. එහෙත්, බබිලෝනිවරුන් වෙත ගොස් ඔවුන්ට භාර වන තැනැත්තා ජීවත් වන්නේ ය. ඔහුට අභය ලැබෙන්නේ ය.</verse>
				<verse number="3">සැබැවින් මේ නගරය බබිලෝනියේ රජුගේ සේනා අතට අසු වී ඔහු ඒක අල්ලාගන්නේ යයි සමිඳාණන් වහන්සේ වදාරන සේක.”</verse>
				<verse number="4">එවිට අධිපතීහු කතා කොට, “මේ මනුෂ්‍යයා මරනු ලැබේ වා! මන්ද, මෙසේ මෙබඳු වචන කීමෙන්, මොහු නගරයේ ඉතුරු ව සිටින යුද්ධ භටයන් ද සියලු සෙනඟ ද අධෛර්ය කරන්නේ ය. මේ මිනිසා සෙනඟගේ යහපත නොව ඔවුන්ගේ විනාශය පතන්නේ යැ”යි කී හ.</verse>
				<verse number="5">ශෙදෙකියා රජ ද, “මෙන්න, ඔහු ඔබේ අතෙහි ය. ඔබට විරුද්ධ ව කිසිවක් කරන්නට රජුට බැරි ය”යි කීවේ ය.</verse>
				<verse number="6">එකල ඔව්හු ජෙරමියා ගෙන හිරගෙයි මළුවෙහි තිබුණු මල්කියා රජ කුමරුගේ ළිඳට ඔහු ලණුවලින් බැස්සෙවුවෝ ය. ඒ ළිඳේ වතුර නොව මඩ තිබිණි. ජෙරමියා එහි මඩේ එරුණේ ය.</verse>
				<verse number="7">ජෙරමියා ළිඳේ දැමූ බව ඇසූ රජ ගෙදර සිටි නපුංසකයෙකු වූ කුෂිය ජාතික එබෙද්-මෙලෙක් රජ ගෙදරින් නික්ම, බෙන්ජමින් දොරටුවේ ඉඳගෙන හුන් රජු වෙත ගොස්,</verse>
				<verse number="8">රජුට කතා කොට, “මාගේ ස්වාමීන් වන රජතුමනි, මේ මනුෂ්‍යයන් විසින් ළිඳේ දමන ලද දිවැසිවර ජෙරමියාට ඔවුන් කළ සියල්ල කෲරතර ය. ඔහු එහි බඩගින්නෙන් මැරෙනු ඇත. මන්ද, නගරයෙහි තවත් කෑමට රොටි නැතැ”යි කී ය.</verse>
				<verse number="9">***</verse>
				<verse number="10">එවිට රජ කුෂිය ජාතික එබෙද්-මෙලෙක්ට අණ කරමින්, “ඔබ, සමඟ මෙතැනින් මනුෂ්‍යයන් තුන්දෙනෙකු කැඳවාගෙන ගොස්, දිවැසිවර ජෙරමියා මැරෙන්නට පෙර ඔහු ළිඳෙන් ගොඩට ගන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="11">එබෙද්-මෙලෙක් ද ඒ මිනිසුන් තමා සමඟ කැඳවාගෙන රජ ගෙදර ගබඩාවට වැද, අල්මාරියකින් පරණ රෙදි කෑලි ද පරණ වැරහැලි ද ගෙන, ඒවා ළිඳ ඇතුළට ජෙරමියා ළඟට ලණුවලින් බෑවේ ය.</verse>
				<verse number="12">කුෂිය ජාතික එබෙද්-මෙලෙක්, “මේ පරණ රෙදි කෑලි සහ වැරහැලි ඔබේ කිහිලිවල ලණු යට තබාගන්නැ”යි ජෙරමියාට කීවේ ය. ජෙරමියා එසේ කෙළේ ය.</verse>
				<verse number="13">එවිට ඔව්හු ජෙරමියා ලණුවලින් ඇද ළිඳෙන් ගොඩට ගත්හ. ජෙරමියා රැකවල් මළුවේ සිටියේ ය.</verse>
				<verse number="14">එවිට ශෙදෙකියා රජ දිවැසිවර ජෙරමියා කැඳවා, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ තුන් වන දොරටුවට පිළිගෙන, ඔහුට කතා කොට, “මම ඔබෙන් කාරණයක් අසමි. කිසිවක් මාගෙන් නොසඟවන්නැ”යි කී ය.</verse>
				<verse number="15">ජෙරමියා පිළිතුරු දෙමින්, “මම ඔබට දැන්නුවොත් සැබැවින් ඔබ මා නොමරන්නෙහි ද? මා ඔබට දැනුමැතිකම් දුන්නත් ඔබ මට සවන් දෙන්නේ නැතැ”යි ශෙදෙකියාට කීවේ ය.</verse>
				<verse number="16">එවිට ශෙදෙකියා රජ, “මා ඔබ මරන්නේ වත්, ඔබේ ප්‍රාණය හානි කරන්නට සොයන ඒ මනුෂ්‍යයන් අතට ඔබ පාවා දෙන්නේ වත් නැතැ යි අපට දිවි දුන් ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි ජෙරමියාට රහසින් දිවුරුම් දුන්නේ ය.</verse>
				<verse number="17">එකල ජෙරමියා ශෙදෙකියා අමතමින්, “සියලු බලැති දෙවියන් වහන්සේ වන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි කීවේ ය. “නුඹ ඇත්තට ම බබිලෝනියේ රජුගේ අධිපතීන්ගේ අතට භාර වූවොත්, නුඹේ පණ බේරා ගන්නෙහි ය. මේ නගරය ද ගින්නෙන් දවනු නොලබන්නේ ය. නුඹත්, නුඹේ වංශයත් ජීවත්වන්නෝ ය.</verse>
				<verse number="18">එහෙත්, නුඹ බබිලෝනියේ රජුගේ අධිපතීන්ගේ අතට භාර නුවූවොත්, මේ නුවර බබිලෝනිවරුන් අතට පාවා දෙනු ලබන්නේ ය. ඔවුන් එය ගිනිබත් කරනු ඇත. නුඹ ද ඔවුන්ගේ අතින් ගැළවෙන්නේ නැතැ”යි කී ය.</verse>
				<verse number="19">එවිට ශෙදෙකියා කතා කරමින්, “බබිලෝනිවරුන්ට එකතු වූ ජුදෙව්වරුන් ගැන මම බිය වෙමි. මට වද වේදනා කරන පිණිස ඔවුන් අතට මා පාවා දෙනු ලැබේ දැ යි මට සැක ය”යි කී ය.</verse>
				<verse number="20">ජෙරමියා මෙසේ පිළිතුරු දුන්නේ ය: “ඔවුන් ඔබ පාවා දෙන්නේ නැත. මා ඔබට කියන හැටියට සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු වුව මැනව. එයින් ඔබට ශුභසිද්ධ වී ඔබ ජීවත් වන්නෙහි ය.</verse>
				<verse number="21">එහෙත්, ඔබ ඔවුන්ගේ අතට භාර වන්නේ නැතැ යි කියන්නෙහි නම්, ඔබට වන මේ දේ සමිඳාණන් වහන්සේ මට දර්ශනයකින් පෙන් වූ සේක.</verse>
				<verse number="22">බලන්න, ජුදාහි රජුගේ ගෙදර ඉතිරි ව සිටින සියලු ස්ත්‍රීහු බබිලෝනියේ රජුගේ අධිපතීන් වෙත ගෙනයනු ලබති. ඔව්හු කතා කරමින්, ‘ඔබේ හිතමිතුරෝ ඔබ රවටා ඔබෙන් ජය ගත්තෝ ය. ඔබේ පාද දැන් මඩෙහි එරී ඇති බැවින් ඔබේ මිතුරන් ඔබ කෙරෙන් වෙන් ව ගොස් ඇතැ’යි ද කියති.”</verse>
				<verse number="23">තවදුරටත් ජෙරමියා කතා කරමින්, “ඔබේ සියලු භාර්යාවෝ ද දරුවෝ ද බබිලෝනිවරුන් වෙත ගෙනයනු ලබන්නෝ ය. ඔබත් ඔවුන්ගේ අතින් බේරෙන්නේ නැත. බබිලෝනියේ රජු විසින් ඔබ හිර අඩස්සි කරනු ලබන්නෙහි ය. මේ නගරයත් ගින්නෙන් දවාලනු ලබන්නේ ය”යි කී ය.</verse>
				<verse number="24">ශෙදෙකියා පිළිතුරු දෙමින්, “මේ වචන කිසිවෙක් දැන නොගනිත් වා! එවිට ඔබ මරණයට පත් වන්නේ නැත.</verse>
				<verse number="25">එහෙත්, මා ඔබ සමඟ කතා කළ බව අධිපතීන් අසා, ඔබ ළඟට අවුත්, ‘ඔබ රජුට කීවේ කුමක් ද’ කියාත්, ‘අපෙන් නොසඟවා අපට දන්වන්න. එවිට අපි ඔබ නොමරන්නෙමු’යි කියාත් ඔබට කීවොත්,</verse>
				<verse number="26">‘මා ජොනතන්ගේ ගෙයි නසින්නට එහි මා නැවත නොඅරින ලෙස මාගේ බැගෑපත් කන්නලව්ව රජු ඉදිරියෙහි ඔප්පු කෙළෙමි’යි කියන්නැ”යි ජෙරමියාට කීවේ ය.</verse>
				<verse number="27">එවිට සියලු අධිපතීහු ජෙරමියා ළඟට අවුත් ඔහුගෙන් ඒ ගැන විචාළෝ ය. රජු ඔහුට අණ කළ ලෙස ජෙරමියා ඔවුන්ට පිළිතුරු දුන්නේ ය. ඔව්හු නිශ්ශබ්ද වී යන්නට ගියෝ ය. මන්ද, රජු සමඟ කෙරුණු කතාව කිසිවෙකුට නොඇසුණේ ය.</verse>
				<verse number="28">මෙසේ ජෙරුසලම සතුරන්ගේ අතට අසු වූ දවස දක්වා ජෙරමියා රැකවල් මළුවේ තබන ලදී.</verse>
			</chapter>
			<chapter number="39">
				<verse number="1">ජුදාහි රජ වූ ශෙදෙකියාගේ රජකමේ නව වන අවුරුද්දේ දස වන මාසයේ දී බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් තෙමේ තමාගේ මුළු සේනාව සමඟ ජෙරුසලමට විරුද්ධ ව අවුත් එය වටලාගත්තේ ය.</verse>
				<verse number="2">ශෙදෙකියාගේ එකළොස් වන අවුරුද්දේ සතර වන මාසයේ නව වන දින නගර පවුර බිඳින ලද්දේ ය.</verse>
				<verse number="3">ජෙරුසලම අල්ලාගනු ලැබූ පසු, බබිලෝනියේ රජුගේ සියලු අධිපතීහු එනම්, නේර්ගල්-ෂරෙශෙර් ද සම්ගර්-නෙබෝ ද සර්සෙකිම් ද රබ්-සාරිස් ද තවත් නේර්ගල්-ෂරෙශෙර් නමැත්තෙක් ද රබ්-මග් ද බබිලෝනියේ රජුගේ අනික් සියලු අධිපතීහු ද අවුත් මැද දොරටුවේ හිඳගත්තෝ ය.</verse>
				<verse number="4">තවද, ජුදාහි රජු වූ ශෙදෙකියා ද සියලු හේවායෝ ද ඔවුන් දුටු විට, පවුරු දෙක අතරේ තිබෙන දොරටුවෙන් රජ උයන මැදින් යන පාරෙන් නගරයෙන් පිටත් ව රාත්‍රියේ පලා ගියෝ ය. ඔව්හු අරබා සමභූමියේ මාර්ගය බලා නික්ම ගියෝ ය.</verse>
				<verse number="5">එහෙත්, බබිලෝනිවරුන්ගේ සේනාව ඔවුන් ලුහුබැඳ ගොස්, ජෙරිකෝවේ සමභූමිවල දී ශෙදෙකියාට ළං වී ඔහු අල්ලා, හමාත් දේශයේ රිබ්ලාහි සිටි බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් වෙත ඔහු ගෙන ගියෝ ය. ඔහු ද ඔහු ගැන තීන්දුව දුන්නේ ය.</verse>
				<verse number="6">බබිලෝනියේ රජ ශෙදෙකියාගේ පුත්‍රයන් රිබ්ලාහි දී ඔහුගේ ඇස් ඉදිරිපිට මැරී ය. බබිලෝනියේ රජ ජුදාහි සියලු උත්තමයන් ද මැරවී ය.</verse>
				<verse number="7">තවද, ඔහු ශෙදෙකියාගේ ඇස් උගුලාදමා, ඔහු බබිලෝනියට ගෙන යන පිණිස විලංගු දැමවී ය.</verse>
				<verse number="8">බබිලෝනිවරු රජ මැදුර සහ සෙනඟගේ ගෙවල් ගිනි ලා, ජෙරුසලමේ පවුරු කඩාදැමුවෝ ය.</verse>
				<verse number="9">තවද, රැකවල් සේනාවේ අධිපතියා වූ නෙබුසරදාන්, නුවර ඉතිරි ව සිටි සෙනඟ ද පලා අවුත් තමාගේ සෙනඟට එකතු වූ අය ද සෙනඟගෙන් ඉතිරි වූ අනෙක් අය ද අල්ලා බබිලෝනියට ගෙන ගියේ ය.</verse>
				<verse number="10">එහෙත්, රැකවලුන්ගේ අධිපතියා වූ නෙබුසරදාන් කිසිත් නැති දිළිඳු සෙනඟගෙන් සමහරෙකු ජුදා දේශයෙහි ඉතිරි කර තබා, ඔවුන්ට මිදි වතු සහ ඉඩම් ද දුන්නේ ය.</verse>
				<verse number="11">ඉන්පසු බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් රජ තෙමේ ජෙරමියා ගැන රැකවල් සේනාවේ අධිපතියා වූ නෙබුසරදාන්ට අණ කරමින්,</verse>
				<verse number="12">“ඔබ ඔහු රැගෙන, ඔහු හොඳට රැක බලාගෙන, ඔහුට කිසි අනතුරක් නොකොට, ඔහු ඔබට කියන හැටියට ම ඔහුට කටයුතු කරන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="13">මෙසේ රැකවලුන්ගේ අධිපතියා වූ නෙබුසරදාන් ද නෙබුෂශ්බාන් ද රබ්-සාරිස් ද නේර්ගල්-ෂරෙශෙර් ද රබ්-මග් ද බබිලෝනියේ රජුගේ සියලු අධිපතීහු ද</verse>
				<verse number="14">ජෙරමියා රැකවල් මළුවෙන් ගෙන්වාගෙන ඔහු ගෙදරට ගෙන යන පිණිස ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත් ගෙදලියාට භාර කළෝ ය. ජෙරමියා සෙනඟ අතරේ වාසය කෙළේ ය.</verse>
				<verse number="15">ජෙරමියා රැකවල් මළුවේ හිර අඩස්සියේ සිටිද්දී, සමිඳාණන් වහන්සේ ඔහුට කතා කරමින්, එතියෝපීය එබෙද්-මෙලෙක්ට මෙසේ කියන්නට වදාළ සේක:</verse>
				<verse number="16">“බලන්න, මා කී පරිදි මම මේ නගරය පිට සැපත නොව විපත පමුණුවන්නෙමි. ඒ දවසේ දී මේවා නුඹ ඉදිරියෙහි ම සිදු වනු ඇත.</verse>
				<verse number="17">එහෙත්, ස්වාමීන් වන මම ඒ දවසේ දී නුඹ ගළවන්නෙමි. නුඹ බිය ව සිටින මිනිසුන්ගේ අතට නුඹ පාවා නොදෙනු ලැබේ.</verse>
				<verse number="18">සැබැවින් ම මම නුඹ මුදාගන්නෙමි. නුඹ කඩුවෙන් මරනු නොලබන්නෙහි ය. නුඹ මා කෙරෙහි විශ්වාස කළ බැවින් නුඹ පණ බේරාගෙන ගැළවෙන්නෙහි ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
			</chapter>
			<chapter number="40">
				<verse number="1">රැකවල් සේනාවේ අධිපතියා වූ නෙබුසරදාන් ජෙරමියා අල්ලා රාමායෙන් නිදහස් කර හරිනු ලැබූ පසු සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක. බබිලෝනියට ගෙන යන පිණිස ජෙරුසලමෙන් ද ජුදා රටෙන් ද අල්ලාගනු ලැබූ සියල්ලන් අතරෙහි ජෙරමියා ද දම්වැල්වලින් බැඳ තබන ලදී.</verse>
				<verse number="2">රැකවල් සේනාවේ අධිපතියා ජෙරමියා තමා වෙත ගෙන්වාගෙන ඔහුට මෙසේ කීවේ ය: “ඔබේ දෙවි ස්වාමීන් වහන්සේ මේ දේශයට විරුද්ධ ව මේ විපත්තිය ප්‍රකාශ කළ සේක.</verse>
				<verse number="3">සමිඳාණන් වහන්සේ ඒ ප්‍රකාශය ඉටු කරමින් උන් වහන්සේ වදාළ ලෙස කළ සේක; නුඹලා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කොට, උන් වහන්සේගේ හඬට කීකරු නොවී සිටි නිසා, මේ දෙය නුඹලා වෙත පැමිණියේ ය.</verse>
				<verse number="4">ඉතින් ඔබේ අත් බැඳ තිබෙන දම්වැල්වලින් මම අද ඔබ මුදමි. මා සමඟ බබිලෝනියට එන්න ඔබ කැමැති නම් එන්න. මම ඔබ හොඳට බලාගන්නෙමි. එහෙත්, මා සමඟ බබිලෝනියට එන්න ඔබ කැමැති තැන්නම්, නවතින්න. මුළු දේශය ඔබ ඉදිරියෙහි ය. ඔබ යන්න කැමැති ලෙස හොඳ යයි පෙනෙන ඕනෑ තැනකට යන්න.”</verse>
				<verse number="5">ඔහු තවත් හැරී ආපසු නොගොස් සිටිය දී, නෙබුසරදාන් ඔහු අමතා “බබිලෝනියේ රජු ජුදා නගරයේ ආණ්ඩුකාරකමට පත් කළ, ෂාපාන්ගේ පුත් වන අහිකාම්ගේ පුත් ගෙදලියා ළඟට හැරී ගොස්, ඔබ ඔහු සමඟ සෙනඟ අතරෙහි වාසය කරන්න. නැත්නම් ඔබට යන්න පහසු යයි පෙනෙන කොතැනට නමුත් යන්නැ”යි කීවේ ය. තවද, රැකවලුන්ගේ අධිපතියා ඔහුට සෑහෙන ආහාරත්, තෑග්ගකුත් දී ඔහු යන්නට හැරියේ ය.</verse>
				<verse number="6">ජෙරමියා මිශ්පා නගරයේ සිටි අහිකාම්ගේ පුත් ගෙදලියා ළගට ගොස්, දේශයේ ඉතිරි ව සිටි සෙනඟ අතරේ ඔහු සමඟ වාසය කෙළේ ය.</verse>
				<verse number="7">පිටිසර සිටි සේනාවල අධිපතීහු ද ඔවුන්ගේ සෙනඟ ද බබිලෝනියේ රජ අහිකාම්ගේ පුත් ගෙදලියා දේශයේ ආණ්ඩුකාරයා කොට පත් කළ බවත්, බබිලෝනියට ගෙන නොගිය දේශයේ ඉතා දිළිඳු වූවන්ගෙන් පුරුෂයන් ද ස්ත්‍රීන් ද දරුවන් ද ඔහුට භාර කළ බවත් ඇසූ විට</verse>
				<verse number="8">නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් ද කාරේයාගේ පුත් ජොහානාන් හා ජොනතන් ද තන්හුමෙත්ගේ පුත් සෙරායා ද නෙටොපාතියා ඒපයිගේ පුත්‍රයෝ ද මයකාතියයාගේ පුත් ජෙසනියා ද ඔවුන්ගේ සෙනඟ ද මිශ්පා නගරයේ සිටි ගෙදලියා වෙත ආහ.</verse>
				<verse number="9">එවිට ෂාපාන්ගේ පුත් වන අහිකාම්ගේ පුත් ගෙදලියා ඔවුන්ටත්, ඔවුන්ගේ සෙනඟටත් දිවුරුම් දෙමින් කතා කොට, “බබිලෝනිවරුන්ට සේවය කරන්නට බිය නොවන්න. දේශයෙහි වසමින් බබිලෝනියේ රජුට සේවය කරන්න. එවිට ඔබට ශුභසිද්ධ වන්නේ ය.</verse>
				<verse number="10">මම, අප ළඟට එන බබිලෝනිවරුන් ඉදිරිපිට ඔබ වෙනුවෙන් පෙනී සිටින්නට මිශ්පාහි වාසය කරමි. ඔබ මුද්‍රික පානය ද ඉදුණු පල ද තෙල් ද එකතු කොට ඔබේ භාජනවල තබා ඔබ ලබාගත් නගරවල වාසය කරන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="11">එසේ ම මෝවබ්හි ද අම්මොන් පුත්‍රයන් අතරේ ද ඒදොම්හි ද අනිකුත් සෑම රටවල ද සිටි සියලු ජුදෙව්වරුන්ට බබිලෝනියේ රජු ජුදෙව්වරුන්ගෙන් සමහරෙකු ඉතිරිකර ගිය බව ද ඔවුන් කෙරෙහි ෂාපාන්ගේ පුත්‍රයා වූ අහිකාම්ගේ පුත් ගෙදලියා පත් කළ බව ද ආරංචි විය.</verse>
				<verse number="12">එවිට ඒ සියලු ජුදෙව්වරු තමන් පන්නනු ලැබූ සියලු තැන්වලින් හැරී ජුදා දේශයේ මිශ්පාහි සිටි ගෙදලියා ළඟට අවුත්, මුද්‍රික පානය ද ඉදුණු පල ද බොහොමයක් එකතු කර ගත්තෝ ය.</verse>
				<verse number="13">ඉන්පසු කාරේයාගේ පුත් ජොහානාන් ද පිටිසර සිටි සේනාවල සියලු අධිපතීහු ද මිශ්පාහි ගෙදලියා ළඟට අවුත්,</verse>
				<verse number="14">“අම්මොන් පුත්‍රයන්ගේ රජ වූ බයලිස් ඔබ මරන්නට නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් එවූ බව ඔබ දන්නෙහි දැ”යි ඇසූ හ. එහෙත්, අහිකාම්ගේ පුත් ගෙදලියා ඔවුන් විශ්වාස කෙළේ නැත.</verse>
				<verse number="15">එකල කාරේයාගේ පුත් ජොහානාන් මිශ්පාහි දී ගෙදලියාට රහසින් කතා කොට, “මා ගොස් කිසිවෙකු නොදැනුවත් ව නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් මරන පිණිස මට අවසර ලැබේ වා. ඔබව මරන්නට ඉඩ දෙන්නේ කුමට ද? එසේ වුවහොත්, ඔබ වෙත රැස් ව සිටින සියලු ජුදෙව්වරුන් විසිර යනු ඇත. ජුදාහි ඉතිරි ව සිටින සියලු දෙනා විනාශ වනු ඇතැ”යි කීවේ ය.</verse>
				<verse number="16">එහෙත්, අහිකාම්ගේ පුත් ගෙදලියා කාරේයාගේ පුත් ජොහානාන් අමතා, “ඔබ මේ දේ නොකළ යුතු ය. ඉෂ්මායෙල් ගැන ඔබ කියන දේ සැබෑවක් නොවේ ය”යි කී ය.</verse>
			</chapter>
			<chapter number="41">
				<verse number="1">සත් වන මාසයේ දී රාජ වංශයට අයිති වූ, රජුගේ අධිපතියන්ගෙන් කෙනෙකු වන එලිෂාමාගේ පුත් නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් ද ඔහු සමඟ මිනිසුන් දසදෙනෙක් ද මිශ්පාහි සිටි අහිකාම්ගේ පුත් ගෙදලියා වෙත පැමිණියෝ ය. එහි ඔව්හු මිශ්පාහි දී එක් ව කෑම කෑවෝ ය.</verse>
				<verse number="2">එවිට නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් සහ ඔහු සමඟ සිටි මිනිසුන් දසදෙනා බබිලෝනියේ රජු විසින් දේශයේ ආණ්ඩුකාරකමට පත් කළා වූ ෂාපාන්ගේ පුත් වන අහිකාම්ගේ පුත් ගෙදලියාට කඩුවෙන් පහර දී ඔහු මැරුවෝ ය.</verse>
				<verse number="3">තවද, ඉෂ්මායෙල් තෙමේ ගෙදලියා සමඟ මිශ්පාහි සිටි සියලු ජුදෙව්වරුන් ද එහි ඒ අවස්ථාවේ සිටි බබිලෝනීය යුද්ධ භටයන් ද මැරුවේ ය.</verse>
				<verse number="4">ගෙදලියා මරනු ලැබූ දිනට පසු දින කිසිවෙකු ඒ ගැන දැනගන්නට පෙර,</verse>
				<verse number="5">ෂෙකෙම්හි ද ෂිලෝහි ද සමාරියේ ද සිටි මිනිසුන් අසූදෙනෙක් රැවුල් කපාගෙන, ඇඳුම් ඉරාගෙන, ශරීර කපාගෙන, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පුද කරන පිණිස ආහාර පූජා ද ගන්ධරස ද රැගෙන ආහ.</verse>
				<verse number="6">නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් මිශ්පා සිට පිටත් වී අඬ අඬා ඔවුන් පෙරමඟට ගියේ ය. ඔවුන් මුණගැසුණු විට, “අහිකාම්ගේ පුත් ගෙදලියා ළඟට පැමිණෙන්නැ”යි ඔහු ඔවුන්ට කීවේ ය.</verse>
				<verse number="7">ඔවුන් නගරය මැදට පැමිණි විට, නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් සහ ඔහු සමඟ සිටි මිනිස්සු ඔවුන් මරා වළකට හෙළූ හ.</verse>
				<verse number="8">එහෙත්, ඔවුන් අතරෙහි සිටි මිනිසුන් දසදෙනෙක් ඉෂ්මායෙල්ට කතා කොට, “අප නොමරන්න. මන්ද, කෙතෙහි සඟවා තිබෙන තිරිඟු ද යව ද මී පැණි ද තෙල් ද අප ළඟ තිබේ ය”යි කී හ. එවිට ඔහු ඔවුන් ද ඔවුන්ගේ සහකාරයන් ද නොමරා ඉතුරු කෙළේ ය.</verse>
				<verse number="9">ඉෂ්මායෙල් තමා විසින් මරන ලද මිනිසුන් හෙළාදැමූ වළ විශාල එකකි. එය ආසා රජු විසින් ඉශ්රායෙල්වරුන්ගේ රජු වූ බයෙෂාගෙන් ආරක්ෂා වන පිණිස සාදන ලද වළ ය. නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් තමා මැරූ අයගේ මළකඳන්වලින් ඒ වළ පිරෙව්වේ ය.</verse>
				<verse number="10">තවද ඉෂ්මායෙල්, සෙනඟගෙන් ඉතිරි වී මිශ්පාහි සිටි සියල්ලන් එනම්, රැකවලුන්ගේ අධිපතියා වූ නෙබුසරදාන් විසින් අහිකාම්ගේ පුත් ගෙදලියාට භාර දෙන ලද රාජ කුමරිකාවන් ද මිශ්පාහි ඉතිරි ව සිටි මුළු සෙනඟ ද සිරබාරයට ගත්තේ ය. නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් ඔවුන් ගෙන අම්මොන්වරුන්ගේ දේශයට යන්නට පිටත් විය.</verse>
				<verse number="11">එහෙත්, කාරේයාගේ පුත් ජොහානාන් සහ ඔහු සමඟ සිටි සේනාවල සියලු අධිපතීහු ද නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් කළ සියලු අපරාධ ගැන අසා,</verse>
				<verse number="12">සියලු මිනිසුන් රැස් කරගෙන නෙතනියාගේ පුත් ඉෂ්මායෙල්ට විරුද්ධ ව යුද්ධ කරන්න පිටත් වූ හ. ඔහු ගිබියොන්හි තිබෙන මහා ජලාශය ළඟ දී ඔවුන්ට මුණගැසුණේ ය.</verse>
				<verse number="13">එවිට ඉෂ්මායෙල් සමඟ සිටි මුළු සෙනඟ කාරේයාගේ පුත් ජොහානාන් සහ ඔහු සමඟ සිටි සේනාවල සියලු අධිපතීන් ද දුටු විට සන්තෝෂ වූ හ.</verse>
				<verse number="14">මිශ්පාහි සිට ඉෂ්මායෙල් අල්ලාගෙන ගිය මුළු සෙනඟ නැවත හැරී කාරේයාගේ පුත් ජොහානාන්ට එකතු වූ හ.</verse>
				<verse number="15">එහෙත්, නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් මිනිසුන් අටදෙනෙකු සමඟ ජොහානාන්ගෙන් ගැළවී අම්මොන්වරුන්ගේ දේශයට පලා ගියේ ය.</verse>
				<verse number="16">කාරේයාගේ පුත් ජොහානාන් ද ඔහු සමඟ සිටි සේනාවල සියලු අධිපතියෝ ද නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් විසින් අහිකාම්ගේ පුත් ගෙදලියා මරනු ලැබූ පසු, මිශ්පාහි ඉතිරි ව සිටි, ඔහු කෙරෙන් ආපසු ගෙන යන ලද ඉතිරි ව සිටි මුළු සෙනඟ වන යුද්ධ භටයන් ද ස්ත්‍රින් ද දරුවන් ද නපුංසකයන් ද ගිබියොන් නගරයෙන් කැඳවාගෙන ගොස්,</verse>
				<verse number="17">බබිලෝනිවරුන්ගෙන් ඈත් වී මිසරයට ඇතුළු වන්නට යන පිණිස බෙත්ලෙහෙම අසල තිබෙන ගෙරුත් කිම්හාම්ගේ නවාතැනෙහි නවාතැන් ගත්හ.</verse>
				<verse number="18">එසේ කෙළේ, නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් බබිලෝනියේ රජු විසින් දේශයේ ආණ්ඩුකාරකමට පත් කරන ලද අහිකාම්ගේ පුත් ගෙදලියාව මැරූ බැවින් ඔවුන්ට බිය වූ නිසා ය.</verse>
			</chapter>
			<chapter number="42">
				<verse number="1">එවිට සේනාවල සියලු අධිපතියෝ ද කාරේයාගේ පුත් ජොහානාන් ද හෝෂායාගේ පුත් ජෙසනියා ද ලොකු කුඩා සියල්ලෝ ද</verse>
				<verse number="2">දිවැසිවර ජෙරමියා වෙත පැමිණ, “අනේ! අපේ කන්නලව්ව ඇසුව මැනව. අප උදෙසා ඔබේ දෙවි ස්වාමීන් වහන්සේට යාච්ඤා කරන්න. ඉතිරි ව සිටින අප සියල්ලන් උදෙසා යාච්ඤා කරන්න. වරක් අපි බොහෝ දෙනෙක් සිටියෙමු; එහෙත්, ඔබට පෙනෙන පරිදි ඉතිරි ව සිටින්නේ අපි ස්වල්ප දෙනෙක් පමණි.</verse>
				<verse number="3">අප යා යුතු මාර්ගයත්, කළ යුතු දේත් පෙන්වන ලෙස ඔබේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි කී හ.</verse>
				<verse number="4">එවිට දිවැසිවර ජෙරමියා, “ඔබ හැම කී දේ ඇසීමි; ඔබේ ඉල්ලීම අනුව ඔබේ දෙවි ස්වාමීන් වහන්සේට යාච්ඤා කොට, සමිඳාණන් වහන්සේ ඔබට දෙන පිළිතුර කිසිවක් නොසඟවා ඔබට දන්වන්නෙමි”යි ඔවුන්ට කීවේ ය.</verse>
				<verse number="5">එවිට ඔව්හු ජෙරමියා අමතා, “ඔබේ දෙවි ස්වාමීන් වහන්සේ ඔබ මඟින් අපට අණ කරන සියල්ල අප නොපිළිපැද්දොත් සමිඳාණන් වහන්සේ අපට විරුද්ධ ව සැබෑ විශ්වාසී සාක්ෂිකාරයෙක් වන සේක් වා!</verse>
				<verse number="6">අපේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට කීකරු වීමෙන් අපට යහපත සිද්ධ වන පිණිස උන් වහන්සේ වෙත අපි ඔබ යවම්හ. හොඳක් වුවත්, නොහොඳක් වුවත් අපේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට අපි කීකරු වන්නෙමු”යි ජෙරමියාට කී හ.</verse>
				<verse number="7">දස දිනකට පසු සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක.</verse>
				<verse number="8">එවිට ඔහු කාරේයාගේ පුත් ජොහානාන් ද ඔහු සමඟ සිටි සේනාවල සියලු අධිපතීන් ද ලොකු කුඩා සියලු දෙනා ද කැඳවා ඔවුන්ට කතා කොට මෙසේ කී ය:</verse>
				<verse number="9">“ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේට ඔබේ කන්නලව්ව ඔප්පු කරන පිණිස ඔබ මා යැවුවහු ය. උන් වහන්සේ මෙසේ වදාරන සේක:</verse>
				<verse number="10">‘නුඹලා මේ දේශයේ ම සිටින්නට කැමැත්තහු නම්, මම නුඹලා නොවනසා පිහිටුවන්නෙමි. නුඹලා උදුරා නොදමා හිටවන්නෙමි. මන්ද, මා නුඹලාට පැමිණෙවූ විපත්ති ගැන කණගාටු වෙමි.</verse>
				<verse number="11">නුඹලා බියෙන් සිටින බබිලෝනියේ රජුට බිය නොවන්න. නුඹලා ගළවා, ඔහුගේ අතින් මුදන්නට මා නුඹලා සමඟ සිටින බැවින් ඔහුට බිය නොවන්න.</verse>
				<verse number="12">ඔහු නුඹලාට අනුකම්පා කොට නුඹලාගේ දේශයෙහි වාසය කිරීමට ඉඩ දෙනු පිණිස නුඹලා කෙරෙහි දයාව පෑමට මම සලස්වන්නෙමි.</verse>
				<verse number="13">“එහෙත් නුඹලා, අපි මේ දේශයේ නොසිටින්නෙමු යි කියමින් නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට කීකරු නොවී, කතා කොට,</verse>
				<verse number="14">‘නැත, අපි මිසර දේශයට යන්නෙමු; එහි දී යුද්ධයක් දකින්නට වත්, හොරණෑ ශබ්දය අසන්නට වත්, කෑම නැති ව බඩගින්නේ ඉන්නට වත් සිදු වන්නේ නැත; අපි එහි සිටින්නෙමු’යි කියන්නහු නම්,</verse>
				<verse number="15">එම්බා, ජුදාහි ඉතිරි ව සිටින කුඩා පිරිස, සමිඳාණන් වහන්සේගේ වචනය අහන්න. මෙසේ වදාරන්නේ ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ ය. නුඹලා මිසර දේශයට පා තබා එහි ගොස් ජීවත් වන්නට ඉටාගන්නහු නම්,</verse>
				<verse number="16">නුඹලා බියගන්වන කඩුව මිසර දේශයේ දී නුඹලා පිට පැමිණෙන්නේ ය. නුඹලා බියපත් කරවන සාගතය මිසර දේශයට ම නුඹලා ලුහුබැඳ යන්නේ ය. එහි දී නුඹලා මැරෙන්නහු ය.</verse>
				<verse number="17">මිසරයෙහි ජීවත් ව සිටින පිණිස එහි යන්නට අදිටන් කරගන්න සියලු ම මිනිස්සු කඩුවෙනුත්, සාගතයෙනුත්, වසංගතයෙනුත් නසින්නෝ ය. මා ඔවුන් පිට පමුණුවන විපත්තියෙන් ඔවුන්ගෙන් කිසිවෙක් ගැළවී ඉතිරි නොවන්නෝ ය.</verse>
				<verse number="18">“ ‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි වන සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මාගේ උදහසත්, කෝපයත් ජෙරුසලමේ වැසියන් පිට වැගුරුණු ලෙස, නුඹලා මිසරයට පැමිණි විට නුඹලා පිට ද මාගේ කෝපය වැගිරෙනු ඇත. අනුන්ගේ පිළිකුලට හා සමච්චලයට ද භීතියට හා සාපයට ද භාජන වන්නහු ය. කිසි කලක මේ ස්ථානය නුඹලා නොදකින්නහු ය.’ ”</verse>
				<verse number="19">ජෙරමියා තවදුරටත් කතා කරමින් මෙසේ කී ය: “ජුදාහි ඉතිරි ව සිටින ජනයෙනි මිසරයට නොයන්නැ යි සමිඳාණන් වහන්සේ ඔබ හැමට කියා ඇත. මා අද ඔබට අවවාද කළ බව හොඳට සිතට ගන්න.</verse>
				<verse number="20">ඔබේ ප්‍රාණවලට හානිවන විධියට ඔබ නොමඟ ගොස් ඇත. ‘අපේ දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සියල්ල ඒ හැටියට අපට දන්වන්න. අපි එය කරන්නෙමු’යි ඔබේ දෙවි ස්වාමීන් වහන්සේට කන්නලව් කිරීමට ඔබ මා යැවුවහු ය.</verse>
				<verse number="21">එය මම අද ඔබට දැන්වූයෙමි. එහෙත්, ඔබේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට වත්, උන් වහන්සේ මා ලවා ඔබට කියා එවූ කිසිවකට වත් ඔබ කීකරු වුණේ නැත.</verse>
				<verse number="22">ඉතින් ඔබ කලක් නවතින්නට යන්න ආශා වන ස්ථානයේ දී ඔබ සැම කඩුවෙනුත්, සාගතයෙනුත්, වසංගතයෙනුත් නසින බව සැබැවින් ම දැන ගන්නැ”යි කීවේ ය.</verse>
			</chapter>
			<chapter number="43">
				<verse number="1">සෙනඟගේ දෙවි ස්වාමීන් වහන්සේ වදාළ සියලු වචන උන් වහන්සේගේ සෙනඟට කියන පිණිස යවනු ලැබූ ජෙරමියා, ඒ සියලු වචන මුළු සෙනඟට ප්‍රකාශ කර නිම කෙළේ ය.</verse>
				<verse number="2">එකල හෝෂායාගේ පුත් අසරියා ද කාරේයාගේ පුත් ජොහානාන් ද උඩඟු වූ අනෙක් සියලු මනුෂ්‍යයෝ ද ජෙරමියාට කතා කොට, “ඔබ බොරු කියන්නෙහි ය. මිසරයෙහි ජීවත් වන්නට එහි නොයන්නැ යි කියන පිණිස අපේ දෙවි ස්වාමීන් වහන්සේ අප වෙත ඔබ එව්වේ නැත.</verse>
				<verse number="3">බබිලෝනිවරුන් අප මරන්නට හෝ බබිලෝනියට අප අල්ලාගෙන යන්නට හෝ ඔවුන්ගේ අතට අප පාවා දෙන පිණිස නේරියාගේ පුත් බාරුක් අපට විරුද්ධ ව ඔබ පොළඹ වන්නේ ය”යි කී හ.</verse>
				<verse number="4">මෙසේ කාරේයාගේ පුත් ජොහානාන් ද සේනාවල සියලු අධිපතීහු ද මුළු සෙනඟ ද ජුදා දේශයෙහි නැවතී සිටින පිණිස සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නො වූ හ.</verse>
				<verse number="5">එහෙත්, කාරේයාගේ පුත් ජොහානාන් සහ සේනාවල අධිපතීහු ද විජාතීන් අතරට පන්නනු ලැබූ නමුත්, ජුදා දේශයෙහි සිටීමට ඒ සියලු ජාතීන් අතරෙන් හැරී ආ ඉතිරි ව සිටි සියලු ජුදෙව්වරුන් වන,</verse>
				<verse number="6">පුරුෂයෝ ද ස්ත්‍රීහු ද දරුවෝ ද රාජ කුමාරිකාවෝ ද රැකවලුන්ගේ අධිපතියා වූ නෙබුසරදාන් විසින් ෂාපාන්ගේ පුත් වූ අහිකාම්ගේ පුත් ගෙදලියා වෙත නවත්වනු ලැබූ සියලු දෙනා ද යන මොවුහු දිවැසිවර ජෙරමියා ද නේරියාගේ පුත් බාරුක් ද රැගෙන,</verse>
				<verse number="7">සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවී මිසර දේශයට පැමිණියහ. තවද, ඔව්හු තාපන්හේස් දක්වා ගියහ.</verse>
				<verse number="8">එකල තාපන්හේස්හි දී සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="9">“නුඹේ අතින් ලොකු ගල් රැගෙන ජුදෙව්වරුන් බලා සිටිය දී තාපන්හේස්හි පාරාවෝගේ මාලිගාවේ දොරටුවෙහි තිබෙන ගඩොල් වේදිකාවේ බදාම තුළ සඟවා තබන්න.</verse>
				<verse number="10">ඉන්පසු ඔවුන්ට කතා කොට ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට කියන්න. ‘බලන්න, මම මිනිසුන් යවා මාගේ සේවක, බබිලෝනියේ රජු වන, නෙබුකද්නෙශර් ගෙන්වා, මා සඟවා තැබූ මේ ගල් මත ඔහුගේ සිංහාසනය පිහිටුවන්නෙමි. ඔහු ද තමාගේ රාජකීය සේසත එයට ඉහළින් තබනු ඇත.</verse>
				<verse number="11">ඔහු අවුත් මිසර දේශයට පහර දෙනු ඇත. වසංගතයට නියම වූ අය වසංගතයටත්, වහල්කමට නියම වූ අය වහල්කමටත්, කඩුවට නියම වූ අය කඩුවටත් ගොදුරු වනු ඇත.</verse>
				<verse number="12">මම ද මිසරයේ දේවාල ගිනිබත් කරන්නෙමි. බබිලෝනියේ රජු ලවා ඒ දෙවිවරුන් පුළුස්සාදැමීමට හෝ ඔවුන් පැහැරගෙන යාමට හෝ සලස්වන්නෙමි. එඬේරෙකු තමාගේ ඇඳුමේ ඇති කිනිතුල්ලන් පිස දමා පවිත්‍ර කරන්නාක් මෙන් බබිලෝනියේ රජ මිසර දේශය පවිත්‍ර කර ජයාන්විත ව එතැනින් පිටත් ව යන්නේ ය.</verse>
				<verse number="13">ඔහු මිසර දේශයේ තිබෙන බෙත්-ෂෙමෙෂ්හි කුළුණු බිඳදමා, මිසරයේ දේවාල ගින්නෙන් දවාලන්නේ ය.’ “</verse>
			</chapter>
			<chapter number="44">
				<verse number="1">මිසර දේශයේ මිග්දොල්හි ද තාපන්හේස්හි ද නොප්හි ද පත්‍රෝස්හි ද වාසය කළ සියලු ජුදෙව්වරුන් සම්බන්ධයෙන් සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක.</verse>
				<verse number="2">“ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: මා ජෙරුසලමටත්, ජුදාහි සියලු නගරවලටත් පැමිණෙවූ සියලු විපත්ති නුඹලා දුටුවහු ය. බලන්න, අද ඒවා නටබුන් වී තිබේ. කිසිවෙක් එහි නොවසති.</verse>
				<verse number="3">එසේ වූයේ, ඔවුන් වත්, නුඹලා වත්, නුඹලාගේ පියවරුන් වත් නොඇදහූ අන් දෙවිවරුන්ට සේවය කිරීමෙන් හා සුවඳ දුම් පිදීමට යාමෙන්, මා කෝප කරවන ලෙස නුඹලා කළ නුඹලාගේ අධර්මිෂ්ඨකම් නිසා ය.</verse>
				<verse number="4">මම ද, අහෝ, මා ද්වේෂ කරන ඔය පිළිකුල් දෙය නොකරන්නැ යි කියන්නට දිවැසිවරුන් වන මාගේ සියලු සේවකයන් වැළ නොකැඩී නුඹලා වෙත එවුවෙමි.</verse>
				<verse number="5">එහෙත්, නුඹලා සවන් දුන්නේ වත්, සිතට ගත්තේ වත් නැත. අන් දෙවිවරුන්ට පූජා කිරීමේ දුෂ්ට පිළිවෙත නුඹලා අත්හැරියේ නැත.</verse>
				<verse number="6">ඒ නිසා මාගේ උදහස ද කෝපය ද ජුදාහි නගර පිටත්, ජෙරුසලමේ වීදිවලත් වගුරුවා මම ඒවා ගිනි ලෑවෙමි. ඒවා නැතිනාස්ති වී තිබෙන අයුරු අද වුව ද දක්නට ලැබේ.</verse>
				<verse number="7">“එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවියන් වහන්සේ වන මම නුඹලාගෙන් මෙසේ ප්‍රශ්න කරමි: නුඹලාගෙන් කිසිවෙකු ඉතුරු නොවන ලෙස, නුඹලාගේ පුරුෂයන් ද ස්ත්‍රීන් ද ළදරුවන් ද කිරි දරුවන් ද ජුදෙව්වරුන් අතරෙන් සිඳදැමීමට කාරණය වන මේ මහත් නපුර කෙළේ මන් ද?</verse>
				<verse number="8">නුඹලා පදිංචි වන පිණිස පැමිණි මිසර දේශයේ දී, නුඹලාගේ පිළිමවලට හා අන් දෙවිවරුන්ට කරන පූජා කරණකොටගෙන මා කෝප කරවන්නේ මන් ද? මේ හේතුවෙන් සියල්ලන් විසින් නුඹලා අත්හරිනු ලැබ, මිහි පිට හැම ජාතීන් ඉදිරියෙහි නුඹලා නින්දාවටත්, සාපයටත් ගොදුරු වන්නහු ය.</verse>
				<verse number="9">ජුදා දේශයෙහිත්, ජෙරුසලමේ වීදිවලත් කරන ලද නුඹලාගේ පියවරුන්ගේ දුෂ්ටකම් ද ජුදාහි රජවරුන්ගේ දුෂ්ටකම් ද ඔවුන්ගේ භාර්යාවන්ගේ දුෂ්ටකම් ද නුඹලාගේ ම දුෂ්ටකම් ද නුඹලාගේ භාර්යාවන්ගේ දුෂ්ටකම් ද නුඹලාට අමතක වී තිබේ ද?</verse>
				<verse number="10">නුඹලා අද දවස දක්වා ම යටත් වුණේ වත්, ගරුබිය පෑවේ වත්, මා නුඹලා සහ නුඹලාගේ පියවරුන් ඉදිරියෙහි තබන ලද මාගේ අණපණත් ද නියෝග ද ප්‍රකාරයට හැසුරුණේ වත් නැත.</verse>
				<verse number="11">“එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ වන මම මෙසේ කියමි. ජුදා දේශය විනාශ වන ලෙස විපත් පැමිණවීමට මම තීරණය කරගතිමි.</verse>
				<verse number="12">මිසර දේශයෙහි පදිංචි වන පිණිස එහි පැමිණි ජුදාහි ඉතිරි ව සිටින සෙනඟ සියල්ලන් ම රැගෙන මම විනාශ කරන්නෙමි. ඔව්හු සියල්ලෝ ම මිසර දේශයේ දී කඩුවෙන් ද සාගතයෙන් ද විනාශ වී යන්නෝ ය; ලොකු කුඩා සියල්ලෝ ම කඩුවෙන් ද සාගතයෙන් ද මැරෙන්නෝ ය. ඔව්හු සියල්ලන් ඉදිරියෙහි පිළිකුලක් ද සාපයක් ද භීතියක් ද සමච්චලයක් ද වන්නෝ ය.</verse>
				<verse number="13">මම ජෙරුසලමට දඬුවම් කළ පරිදි මිසර දේශයෙහි වාසය කරන්නන්ටත් කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද දඬුවම් කරන්නෙමි.</verse>
				<verse number="14">මිසර දේශයෙහි පදිංචි වන පිණිස පැමිණි ජුදාහි ඉතිරි වූ සෙනඟගෙන් කිසිවෙක් ගැළවෙන්නේ වත්, ඉතිරිවන්නේ වත් නැත. කෙතරම් ආශා වෙතත්, කිසිවෙකුට ආපසු ජුදා දේශයට පැමිණෙන්නට හැකි වන්නේ නැත. පලා යන සමහරුන් හැර අන් කිසිවෙක් හැරී නොඑන්නෝ ය.”</verse>
				<verse number="15">එවිට තමන්ගේ භාර්යාවන් අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කරන බව දත් සියලු පුරුෂයෝ ද මහා ජනකායක් ව ළඟ සිටි සියලු ස්ත්‍රීහු ද මිසර දේශයේ පත්‍රෝස්හි විසූ මුළු සෙනඟ ද ජෙරමියාට මෙසේ කී හ:</verse>
				<verse number="16">“ඔබ සමිඳාණන් වහන්සේගේ නාමයෙන් අපට කී වචනය ගැන අපි ඔබට කන් නොදෙන්නෙමු.</verse>
				<verse number="17">අප ගත් තීරණය ලෙස ම, අප ද අපේ පියවරුන් ද අපේ රජවරුන් ද අපේ අධිපතීන් ද ජුදා නගරවලත්, ජෙරුසලමේ වීදිවලත් කළාක් මෙන්, අපි ‘අහස් රැජින’ නම් දේවතාවියට සුවඳ දුම් ඔප්පු කොට, ඈට පානීය පූජාවන් පුද කරන්නෙමු. මන්ද, ඒ කාලයේ අපි ආහාර බහුල ව ලබාගත්තෙමු. කිසි විපතක් නැති ව සැපසේ සිටියෙමු.</verse>
				<verse number="18">එහෙත්, අප අහස් රැජින නම් දේවතාවියට සුවඳ දුම් ඔප්පු කිරීමත්, ඈට පානීය පූජා වැගිරවීමත් අත්හැරිය දින සිට සෑම දේ ම අපට හිඟ වී, අපි කඩුවෙන් ද සාගතයෙන් ද නැති වුණෙමු.”</verse>
				<verse number="19">ස්ත්‍රීවරු තවදුරටත් කතා කරමින්, “අප අහස් රැජින නම් දේවතාවියගේ ස්වරූපය අනුව රසකැවිලි සාදා ඈට පූජා කර, සුවඳ දුම් ඔප්පු කර, පානීය පූජා වැගිරෙවූ විට, එසේ කිරීමට අපේ පුරුෂයන්ගේ අනුමතය අපට නොලැබිණි දැ”යි ප්‍රශ්න කළහ.</verse>
				<verse number="20">එවිට ජෙරමියා මුළු සෙනඟ වන පුරුෂයන්ටත්, ස්ත්‍රීන්ටත් එනම්, ඔහුට ඒ උත්තර දුන් මුළු ජනතාවට කතා කොට,</verse>
				<verse number="21">“ඔබ ද ඔබේ පියවරුන් ද ඔබේ රජවරුන් ද ඔබේ අධිපතීන් ද දේශයෙහි සෙනඟ ද ජුදාහි නගරවලත්, ජෙරුසලමේ වීදිවලත් කළ සුවඳ දුම් පූජා සමිඳාණන් වහන්සේ අමතක කළ සේක් ද?</verse>
				<verse number="22">එසේ ඔබේ දුෂ්ටකම් ද ඔබ කළ පිළිකුල් ක්‍රියා ද සමිඳාණන් වහන්සේට තවත් ඉවසන්නට නොහැකි විය. එබැවින් ඔබේ දේශය අද තිබෙන හැටියට වැසියෙකු නැති ව, පාළු වී, සාප ලද්දක් ව තිබේ;</verse>
				<verse number="23">ඔබ සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවී, උන් වහන්සේගේ අණපණත් ද නියෝග ද ශික්ෂා පද ද අනුව නොහැසිර, සුවඳ දුම් පුද කළ නිසාත්, සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ නිසාත් අද දකින්නට ලැබෙන මේ මුළු විපත්තිය ඔබට පැමිණ තිබේ යැ”යි කීවේ ය.</verse>
				<verse number="24">තවද, ජෙරමියා මුළු සෙනඟටත්, සියලු ස්ත්‍රීන්ටත් කතා කොට, “මිසර දේශයේ සිටින ජුදාවරුනි, සමිඳාණන් වහන්සේගේ වචන අසන්න.</verse>
				<verse number="25">ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි කී ය. “ ‘අහස් රැජින නම් දේවතාවියට අප බාර හාර වූ ප්‍රකාර සුවඳ දුම් ඔප්පු කොට ඈට පානීය පූජා අපි පුද කරමු’යි කියමින් නුඹලා ද නුඹලාගේ භාර්යාවෝ ද පොරොන්දු වූ ලෙස ඒවා ඉෂ්ට කළහ. හොඳයි, ඒවා ස්ථිර කර ඉෂ්ට කරන්න.</verse>
				<verse number="26">එබැවින් මිසර දේශයෙහි වසන සියලු ජුදාවරුනි, ස්වාමීන් වන මා මාගේ පරාක්‍රමවත් නාමයෙන් මිසර දේශයේ වසන සියලු ජුදෙව්වරුන්ට කියන දේට සවන් දෙන්න. මින්පසු, කිසි කලක නුඹලාගෙන් කිසිවෙකුට ‘මම ජීවමාන මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේගේ නාමයෙන් දිවුරමි’ යන දිවුරුම් පාඨය කියා දිවිරීමට මම ඉඩ නොදෙන්නෙමි.</verse>
				<verse number="27">නුඹලාට සැපත නොව, විපත පැමිණෙන ලෙස මම වගබලාගන්නෙමි. මිසර දේශයෙහි සිටින සියලු ම ජුදෙව්වරු නැත්තට ම නැති වන තුරු කඩුවෙන් ද සාගතයෙන් ද විනාශ වී යන්නෝ ය.</verse>
				<verse number="28">එහෙත්, නුඹලාගෙන් ස්වල්ප දෙනෙක් මරණයෙන් ගැළවී, මිසරයෙන් හැරී ආපසු ජුදාවට පැමිණෙති. එවිට ජුදාවෙන් මිසර දේශයට පැමිණි සෙනඟගෙන් ඉතිරි ව සිටින අය, ස්ථිර වූයේ ඔවුන් කී දේ ද මා කී දේ ද කියා දැනගනු ඇත.</verse>
				<verse number="29">නුඹලාගේ විපත ප්‍රකාශ කළ මාගේ වචනය සැබැවින් ම ස්ථීර වන බව නුඹලා දැනගන්න පිණිස මේ ස්ථානයේ දී මා නුඹලාට දඬුවම් කරන බවට ලකුණ මෙය වේ. ස්වාමීන් වන මම නුඹලාට කියමි.</verse>
				<verse number="30">මා විසින් ජුදාහි රජු වූ ශෙදෙකියා ඔහුගේ ප්‍රාණය හානි කරන්නට සෙවූ ඔහුගේ සතුරා වූ බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් අතට පාවා දුන් ලෙස, මිසරයේ රජ වූ පාරාවෝ-හොප්රාත් ඔහුගේ සතුරන් අතට ද ඔහුගේ ප්‍රාණය හානි කරන්නට සොයන්නන් අතට ද පාවා දෙන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
			</chapter>
			<chapter number="45">
				<verse number="1">ජොෂියාගේ පුත් ජුදාහි රජ වූ ජෙහෝයාකිම්ගේ සතර වන අවුරුද්දේ දී නේරියාගේ පුත් බාරුක් දිවැසිවර ජෙරමියාගේ මුඛයෙන් අසා මේ වචන පොතක ලියුවේ ය.</verse>
				<verse number="2">ජෙරමියා බාරුක් අමතා, “ඉශ්රායෙල්වරුන්ගේ, දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාළ සේකැ”යි කී ය.</verse>
				<verse number="3">“ ‘අහෝ මට වන විපතක මහත! සමිඳාණන් වහන්සේ මාගේ වේදනාවට ශෝකය එකතු කළ සේක. මම මාගේ සුසුම්ලෑමෙන් වෙහෙස ව සිටිමි. සහනයක් මට ලැබී නැතැ’යි නුඹ කීයෙහි ය.”</verse>
				<verse number="4">සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කොට, “බාරුක්ට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “බලන්න, මම ගොඩනැඟුවා වූ දෙය කඩාදමමි. මම සිටෙවූ දෙය උදුරාදමමි. මුළු දේශයට ම මෙසේ වන්නේ ය.</verse>
				<verse number="5">නුඹ නුඹේ ම වාසිය තකා ලොකු දේවල් සොයන්නෙහි ද? එසේ නොසොයන්න. මන්ද, සකල මනුෂ්‍ය වර්ගයා පිට මම විපත්තිය පමුණුවන්නෙමි. එහෙත්, නුඹ පමණක් යන යන තැන පණ රැකගන්නෙහි ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
			</chapter>
			<chapter number="46">
				<verse number="1">ජාතීන් සම්බන්ධයෙන් සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක.</verse>
				<verse number="2">මිසර දේශය ගැන උන් වහන්සේ වදාළ දේ මෙය යි. ජොෂියාගේ පුත් ජුදාහි රජු වූ ජෙහෝයාකිම්ගේ සතර වන අවුරුද්දේ දී යුප්‍රටීස් ගංගාව ළඟ කර්කෙමිෂ්හි සිටියා වූ බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් විසින් පහර දෙන ලද මිසරයේ රජ වූ පාරාවෝ-නෙකෝගේ සේනාව ගැන මෙසේ වදාළ සේක:</verse>
				<verse number="3">“කුඩා පලිහ සහ මහා පලිහ සූදානම් කරගෙන සටනට යන්න;</verse>
				<verse number="4">රථවල අසුන් බැඳගන්න; අසරුවෙනි, යුද හිස් වැසුම් දමාගෙන පෙළ ගැසී සිටින්න; හෙල්ල තියුණු කරගන්න; යුද සැට්ට හැඳගන්න.</verse>
				<verse number="5">ඔවුන් කැළඹී ආපසු හැරෙනු ඇත. එබන්දක් මට දකින්නට ලැබුණේ මන් ද? ඔවුන්ගේ බලවන්තයෝ පැරදී ආපසු නොබලා, හදිසියේ පලා ගියෝ ය. සතර දිගින් ම භීතිය ඇත. සමිඳාණෝ මෙසේ වදාරන සේක.</verse>
				<verse number="6">ශීඝ්‍ර ලෙස දුවන්නන්ට බේරී යන්න බැරි ය; හේවායන්ට ගැළවී යන්න බැරි ය; ඔව්හු උතුරු දිශාවේ යුප්‍රටීස් ගංගාව ළඟ දී පැකිළී වැටුණෝ ය.</verse>
				<verse number="7">නයිල් ගංගාව මෙන් ද රැළ ගසන ගංගාවල් මෙන් ද නැඟී එන මොහු කවු ද?</verse>
				<verse number="8">මොහු වනාහි නයිල් ගඟ මෙන් ගලන, එහි ජලධාරාවන් මෙන් රැළ ගසන මිසරය ය. ‘මම නැඟිට ගොස් දේශය යට කර එහි නගරවලට ද වැසියන්ට ද පහර දෙමි’යි මිසරය කියන්නේ ය.</verse>
				<verse number="9">අශ්වයෙනි, නැඟිටින්න; රථයෙනි, වේගයෙන් දුවන්න; හේවායෙනි, ඉදිරියට යන්න. පලිහ හුරු පුරුදු එතියෝපියවරුනි, පුට්වරුනි, දුනු තැත් කවන ලුද්වරුනි, ඉදිරියට එන්න.”</verse>
				<verse number="10">ඒ දවස වනාහි ස්වාමීන් වන සව් බලැති දෙවිඳුන්ගේ දවස ය. එතුමන්ගේ සතුරන්ට දඬුවම් දීමේ දවස ය. එතුමන්ගේ කඩුව ඔවුන් නසා වනසා සෑහීමට පැමිණෙන්නේ ය; ඔවුන්ගේ ලේවලින් මත් වන්නේ ය. මන්ද, එය වනාහි උතුරු දේශයේ යුප්‍රටීස් ගංගාව ළඟ ස්වාමීන් වන සව් බලැති දෙවිඳුන් වෙත කළ යාගයකි.</verse>
				<verse number="11">එම්බා, මිසර වැසියෙනි, ගිලියද්ට ගොස්, ගුගුල් නම් ඖෂධය ලබාගන්න. නුඹ බොහෝ බෙහෙත් පාවිච්චි කිරීම නිෂ්ඵල ය. නුඹට සුවයක් නැත.</verse>
				<verse number="12">විජාතීන් නුඹට පත් නින්දාව ගැන අසා තිබේ. ඔබේ කෑගැසීමෙන් පොළොව පිරී තිබේ. මන්ද, සෙබළු එකිනෙකා සමඟ ගැටී දෙදෙන ම එකට ඇද වැටෙන්නෝ ය.</verse>
				<verse number="13">මිසර දේශයට පහර දීමට බබිලෝනියේ රජු වූ නබුකද්නෙශර්ගේ පැමිණීම ගැන සමිඳාණන් වහන්සේ දිවැසිවරයාට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="14">“මිසරයෙහි ආරංචි කරමින් ද මිග්දොල්හි ප්‍රකාශ කරමින් ද නොප්හි හා තාපන්හේස්හි ප්‍රසිද්ධ කරමින් ද මෙසේ කියන්න, ‘නුඹලා ආරක්ෂා වන පිණිස සූදානම් වන්න; මන්ද, නුඹලාට ඇති සියලු දේ යුද්ධයෙන් විනාශ වී යන්නේ ය.’</verse>
				<verse number="15">නුඹලාගේ බලසම්පන්න ගව දෙවියා පලා ගියේ ය. ඔහුට ස්ථිර ව සිටීමට නොහැකි වී ද? සමිඳාණෝ ඔහුට පහර දුන් සේක.</verse>
				<verse number="16">නුඹලාගේ හේවායෝ පැකිළී වැටෙන්නෝ ය. ඔව්හු එකිනෙකා අමතා ‘නැඟිටින්න, අපේ සතුරන්ගේ කඩුවෙන් මිදී, අපේ දේශයේ අපේ සෙනඟ වෙත යමු’යි කියන්නෝ ය.</verse>
				<verse number="17">මිසරයේ රජු වන පාරාවෝ ද, ‘අවස්ථාව පැහැර හැරිය ඝෝෂකයා ය’යි නම් කරන්න.</verse>
				<verse number="18">සව් බලැති සමිඳාණෝ යැයි නම් දරන රජතුමාණෝ දිවුරා මෙසේ පවසන්නාහ: ජීවමාන දෙවිඳා මම වෙමි; නුඹලාට පහර දෙන තැනැත්තාගේ ශක්තිය කඳු අතරේ තාබෝර් කන්ද මෙන් ද මුහුද ළඟ තිබෙන කර්මෙල් කන්ද මෙන් ද වන්නේ ය.</verse>
				<verse number="19">අහෝ මිසර දේශ වැසියෙනි, වහල්කමට යාමට බඩු භාණ්ඩ සූදානම් කරගන්න. මන්ද, මෙම්පිස් නගරය ජනහීන, පාළු, නටබුන් ගොඩක් වන්නේ ය.</verse>
				<verse number="20">මිසරය වූකලී, උතුරු දේශයෙන් පැමිණි ඇටමැස්සන් රොක් වන ශෝභමාන එළ නෑම්බියක වැනි ය.</verse>
				<verse number="21">මිසරයේ සිටින කුලී හේවායෝ තර කරන ලද වස්සන් වැනි ය. ඔවුන්ගේ විපත්ති දවස, ඔවුන්ගේ විනිශ්චයයේ දවස, එනම්, ඔවුන්ට දඬුවම් කිරීමේ දවස ඔවුන් වෙත ළඟා වූ නිසා ඔවුන්ට කෙළින් සිටීමට නොහැකි ව, ඔව්හු පසු බැස හැරී එක් ව පලා ගියෝ ය.</verse>
				<verse number="22">පොරෝ අතට ගත් ගස් හෙළන්නන් මෙන් සතුරු සේනා එන බැවින්, මිසරය සර්පයකු මෙන් සූ, සූ, ගාමින් පලා යන්නේ ය.</verse>
				<verse number="23">ඇතුළු වී ගමන් කිරීමට දුෂ්කර වූ කැළෑ ඔව්හු කපා දමන්නෝ ය. ඔවුන්ගේ හේවායන්ගේ සංබ්‍යාව පළඟැටියන්ට වැඩි ය; සෙනඟ ගණන් නොකළ හැකි ය.</verse>
				<verse number="24">මිසර වැස්සෝ ලජ්ජාවට පත් කරන ලද්දෝ ය. ඔව්හු උතුරු දේශයේ සෙනඟට යටත් වන්නෝ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
				<verse number="25">සියලු බලැති ස්වාමීන් වන ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක; “මෙන්න, මම තීබ්ස්හි දෙවියා වන ආමොන්ටත්, පාරාවෝටත්, මිසරයටත්, එහි දෙවිවරුන්ටත්, එහි රජවරුන්ටත්, පාරාවෝ කෙරේ විශ්වාසය තබන්නන්ටත් දඬුවම් කරමින්,</verse>
				<verse number="26">ඔවුන්ගේ ප්‍රාණ හානි කරන්නට සොයන්නන් අතටත්, බබිලෝනියේ නෙබුකද්නෙශර් අතටත්, ඔහුගේ සේවකයන් අතටත් ඔවුන් පාවා දෙන්නෙමි. එහෙත්, ඉන්පසු පෙර කාලයේ මෙන් ජනයා මිසරයෙහි ජීවත් වනු ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
				<verse number="27">“මාගේ සේවක ජාකොබ්ගෙන් පැවත එන ජනයෙනි, බිය නොවන්න; ඉශ්රායෙල් වැසියෙනි, නොකැළඹෙන්න. මන්ද, නුඹලා වහල් වී සිටින ඒ දුර බැහැර දේශයෙන් මම නුඹලා සහ නුඹලාගේ පරපුර මුදන්නෙමි. නුඹලා පෙරළා අවුත්, සුරැකි ව සුව සේ ජීවත් වන්නහු ය. කිසිවෙකුගෙන් නුඹලාට බියක් ඇති වන්නේ නැත.</verse>
				<verse number="28">මාගේ සේවක ජනයෙනි, මා නුඹලා සමඟ සිටින බැවින් බිය නොවන්න. මම නුඹලා යම් ජාතීන් අතරට විසුරුවා හැරියෙම් ද, ඒ ජාතීන් තීන්දුවට ම නැති කරන නමුත්, නුඹලා විනාශ නොකරමි. එහෙත්, නුඹලා දඬුවමින් නිදහස් නොකරමි. යුතු පමණට නුඹලාට දඬුවම් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
			</chapter>
			<chapter number="47">
				<verse number="1">පාරාවෝ රජු ගාසා නගරයට පහර දෙන්නට පෙර පිලිස්තිවරුන් ගැන දිවැසිවර ජෙරමියාට කතා කර සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“බලන්න, වතුර උතුරෙන් ගලා අවුත්, උතුරා යන ගඟක් වී, දේශය සහ එහි ඇති සෑම දෙයක් ද නගරය සහ එහි වැසියන් ද උඩින් ගලා යන්නේ ය. මනුෂ්‍යයෝ ද කෑගසන්නෝ ය. දේශයේ සියලු වැසියෝ කෑමොරගසන්නෝ ය.</verse>
				<verse number="3">“අශ්වයන්ගේ කුර ගැටීමේ ශබ්දයත්, රථවල සට සට යන ශබ්දයත්, රෝදවල ගිගුරුම් ශබ්දයත් ඔවුන්ට ඇසෙන්නේ ය. තමන්ගේ අත් දුබල වී ඇති බැවින් පියවරු තමන්ගේ දරුවන් දෙස ආපසු හැරී නොබලන්නෝ ය.</verse>
				<verse number="4">“ඒ ඉතිරි වූ සියලු ආධාරකරුවන් තීර් සහ සීදොන් කෙරෙන් වනසාලීම පිණිස, සියලු පිලිස්තිවරුන් නාස්ති කිරීමට පැමිණෙන දවස නිසා ය. මන්ද, ස්වාමීන් වන මා ක්‍රීත් මුහුදුබඩ දේශයෙහි ඉතිරි ව සිටින පිලිස්තිවරුන් නාස්ති කරන නිසා ය.</verse>
				<verse number="5">“ගාසාහි ජනයා පිට මහා පීඩනයක් පැමිණ ඇත. අෂ්කෙලෝන්හි සෙනඟ විපතට පත් වී සිටිති. පිලිස්තියේ ඉතිරි සෙනඟ තව කොපමණ කල් තමන්ගේ ශරීර කපා කොටාගන්නෝ ද?</verse>
				<verse number="6">“එම්බා සමිඳාණන් වහන්සේගේ කඩුව! නුඹ නිසොල්මන් වන්නේ කවදා ද? ‘නුඹේ කොපුවට ඇතුළු වී නැවතී නිසල ව සිටින්න’ කියා නුඹලා කියන්නහු ය.</verse>
				<verse number="7">“ස්වාමීන් වන මා එයට කාර්යයක් භාර කර තිබෙන නිසා එය නිසල ව සිටින්නේ කෙසේ ද? අෂ්කෙලෝන්ටත්, මුහුදුබඩ වෙසෙන සෙනඟටත් පහර දෙන ලෙස මා එයට අණ කර ඇත.”</verse>
			</chapter>
			<chapter number="48">
				<verse number="1">ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෝවබ් ගැන වදාළ දේ මෙසේ ය: “අහෝ, නෙබෝ‍් වැසියන්ට වන විපතක මහත! මන්ද, එය පාළු වී ඇත. කිරියාතයිම් ලජ්ජාවට පත් වී ඇත. සතුරා එය අල්ලාගෙන ඇත. එහි බලකොටු නින්දිත ලෙස බිඳදමා ඇත. මිස්ගාබ් ලජ්ජාවටත්, කැළඹීමටත් පැමිණියේ ය.</verse>
				<verse number="2">මෝවබ්හි කීර්තිය පහ වී ගොස් ඇත. ‘අපි මෝවබ් ජාතිය නැත්තට ම විනාශ කරමු’යි කියමින් හෙෂ්බොන්හි දී සතුරෝ කුමන්ත්‍රණ කරති. මද්මේන් නගරය නිහඬ වන්නේ ය. සතුරු සේනා ඊට පහර දෙන්නෝ ය.</verse>
				<verse number="3">නාස්තියත්, මහා විනාශයත් නිසා කෑමොරගැසීමේ හඬක් හොරොතයිම් කෙරෙන් නික්මෙන්නේ ය.</verse>
				<verse number="4">“මෝවබ් විනාශ කරනු ලැබී ය. එහි කුඩා දරුවන්ගේ බෙරිහන් දීම සෝයාර් දක්වා ඇසේ.</verse>
				<verse number="5">“ලුහිත්ට යන උඩහ පාරේ හැඩුම් පිට හැඩුම් නඟින්නේ ය. එසේ ය, හොරොතයිම්ට බැස යන පාරේ විනාශයේ දුක්ඛිත අඳෝනාව ඇසෙන්නේ ය.</verse>
				<verse number="6">“ ‘හනික, පණ බේරාගන්න පිණිස කාන්තාරයේ වල් බූරුවන් මෙන් දුවන්නැ’යි ඔව්හු කියති.</verse>
				<verse number="7">“එම්බා මෝවබ්! නුඹ නුඹේ බලකොටු හා සම්පත කෙරෙහි නුඹේ විශ්වාසය තැබූ බැවින් නුඹත් ගෙනයනු ලබන්නෙහි ය. කෙමොෂ් දෙවියා ද ඔහුගේ පූජකයෝ ද අධිපතීහු ද එකට වහල්කමට ගෙනයනු ලබන්නෝ ය.</verse>
				<verse number="8">“සියලු නගරවලට විනාශකයා පැමිණෙන්නේ ය. කිසි ම නගරයක් නොගැළවෙන්නේ ය. ස්වාමීන් වන මා කී ලෙස මිටියාවත ද තැනිතලාව ද නැතිනාස්ති වන්නේ ය.</verse>
				<verse number="9">“මෝවබ්ට සොහොනක් සකස් කරන්න. එය විගසින් විනාශ වන්නේ ය. එහි නගර පාළුවට යන්නේ ය. කිසිවෙක් එහි වාසය නොකරති.”</verse>
				<verse number="10">සමිඳාණන් වහන්සේගේ කාර්යයන් මුළු ධෛර්යය යොදා නොකරන්නන්ට සාප වේ වා! කඩුවෙන් ගසා නොමරන්නාටත් සාප වේ වා!</verse>
				<verse number="11">සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මෝවබ් ජාතිය මුල් කාලයේ සිට සුරක්ෂිත ව පැවතිණි. කිසි කලක ඒ ජාතිය වහල්කමට ගෙනයනු නොලැබී ය. මෝවබ් වනාහි, භාජනයෙන් භාජනයට වත් නොකරනු ලැබූ, යටට මණ්ඩි බසින තෙක් භාජනයක නිශ්චල ව ඇති මිදියුස වැනි ය. එහි රස අඩු නොවී ඒ තුළ ම පැවැතේ. එහි සුවඳ වෙනස් වී නැත.</verse>
				<verse number="12">“එබැවින් මෝවබ් ජාතිය මිදියුස මෙන් වත් කර, හළාදමන පිණිස සෙනඟක් එවන කාලය පැමිණෙන්නේ ය. ඔව්හු මිදියුස බඳුන් හිස් කොට ඒවා කැබෙලි කොට දමන්නෝ ය.</verse>
				<verse number="13">ඉශ්රායෙල් වංශය තමන් විශ්වාස කළ බෙතෙල් නම් දෙවියා නිසා ලජ්ජාවට පත් වූවා සේ මෝවබ් ජනයා තමන් විශ්වාස කළ කෙමොෂ් දෙවියා නිසා ලජ්ජාවට පත් වෙති.</verse>
				<verse number="14">“මෝවබ් ජනයෙනි, නුඹලා ‘වීරයෝ ය’යි ද ‘යුද්ධයෙහි දක්ෂ හේවායෝ ය’යි ද තමන් ගැන ම පුරසාරම් දොඩන්නේ මන් ද?</verse>
				<verse number="15">“මෝවබ් සහ එහි නගරවල විනාශකයා පැමිණෙයි. එහි කදිම තරුණයෝ මැරුම් කෑමට බැස ගියෝ ය. මෙසේ පවසන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ නම් රජ තුමාණන් වන මම ය.</verse>
				<verse number="16">“මෝවබ් රටේ විනාශය ළඟ ය. එහි විපත්තිය විගස පැමිණෙන්නේ ය.</verse>
				<verse number="17">“මෝවබ් වට කර සිටින සියල්ලෙනි, එහි නාමය දන්න සියල්ලෙනි, ඒ රට ගැන විලාප කියන්න. ‘අහෝ! බලවත් ජයකොන්තය, අලංකාර සැරයටිය කැඩුණු හැටි ය’යි කියන්න.</verse>
				<verse number="18">“අහෝ; දීබොන්හි වැසියෙනි! නුඹලාගේ තේජසින් බැස අවුත් බිම දූවිල්ලෙහි හිඳ ගන්න. මන්ද, මෝවබ් විනාශ කළ සතුරා නුඹලාට විරුද්ධ ව පැමිණ නුඹලාගේ බලකොටු විනාශ කරනු ඇත.</verse>
				<verse number="19">“අහෝ, අරෝයෙරේහි වැසියෙනි! මඟ රැක බලා සිට, කුමක් සිදු වුණා දැ යි ගැළවී පලා යන ස්ත්‍රී පුරුෂයන්ගෙන් අසන්න.</verse>
				<verse number="20">“ඔවුන් පිළිතුරු දෙමින්, ‘මෝවබ් බිඳ හෙළනු ලැබූ බැවින් එය ලජ්ජාවට පත් වී ඇත; ඒ ගැන හඬා වැලපෙන්න. මෝවබ් විනාශ කරනු ලැබී යයි අර්ණොන් ගං ඉවුරු දිගේ ප්‍රකාශ කරන්නැ’යි කියනු ඇත.</verse>
				<verse number="21">“තැනිතලාවේ පිහිටි, හොලොන් ද ජහශා ද මෙපායත් ද</verse>
				<verse number="22">දීබොන් ද නෙබෝ ද බෙත්-දිබ්ලාතයිම් ද</verse>
				<verse number="23">කිරියාතයිම් ද බෙත්-ගාමුල් ද බෙත්-මෙයෝන් ද</verse>
				<verse number="24">කෙරියෝත් ද බොශ්රා ද යන නගර පිටත්, ළඟපාත හා ඈත ඇති මෝවබ් දේශයේ සියලු ම නගර පිටත් විනිශ්චය පැමිණ තිබේ.</verse>
				<verse number="25">මෝවබ්හි තෙද බලය බිඳ දමා ඇත; එහි පරාක්‍රමය විනාශ කර ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
				<verse number="26">සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “ස්වාමීන් වන මට විරුද්ධ ව මෝවබ් තමන් උසස් ලෙස සිතූ නිසා, ඔහු වෙරිමත් වූ මිනිසෙකු මෙන් වේ වා! ඔහු සිය වමනයෙහි පෙරළෙමින් සරදමට ලක් වේ වා!</verse>
				<verse number="27">මෝවබ්, නුඹට ඉශ්රායෙල් සරදමක් වුණා නොවේ ද? ඉශ්රායෙල් සොරුන් අතරේ සම්බ වී ද? නුඹ ඉශ්රායෙල් ගැන කතා කරන සෑම විට ම අවඥාවෙන් හිස වැනුවෙහි ය.</verse>
				<verse number="28">අහෝ මෝවබ් වැසියෙනි! නගර අත්හැර පර්වතවල වාසය කරන්න. ගුහා විවර පැතිවල කැදලි සාදන පරෙවියා මෙන් වන්න.</verse>
				<verse number="29">මෝවබ් ඉතා අහංකාරී ය. එහි වැසියන්ගේ උඩඟුකමත්, ආඩම්බරයත්, උදාරකමත්, අහංකාරයත් ගැන මා අසා ඇත.</verse>
				<verse number="30">ඔවුන්ගේ අභිමානය ගැන සමිඳුන් වන මම අසා ඇත්තෙමි. ඔවුන්ගේ පාරට්ටුවත්, ඔවුන්ගේ ක්‍රියාවලියත් නිෂ්ඵල ය.</verse>
				<verse number="31">එබැවින් මෝවබ් ගැන මුළු මෝවබ් ගැන වැලපෙන්නෙමි. කීර්-හෙරෙස්හි මිනිසුන් ගැන වැලපෙන්නෙමි.</verse>
				<verse number="32">ජාසෙර්හි සෙනඟ ගැන වැලපෙනවාට වඩා මිදි වැලක් වැනි සිබ්මාහි සෙනඟ ගැන වැලපෙන්නෙමි. එහි අතු මළ මුහුදෙන් එපිට විහිදී ජාසෙර් දක්වා පැතිර ගොස් ඇත. එහෙත්, දැන් එහි ග්‍රීෂ්ම කාලයේ පල හා මුද්‍රික වලු පිට විනාශය පැමිණ ඇත.</verse>
				<verse number="33">මෝවබ් දේශයේ සරු කෙත්වලින් ප්‍රීති සන්තෝෂය පහ වී ගොස් ඇත. මිදි මිරිකන යන්ත්‍රවල මිදියුස සිඳී යන්නට මම සැලැස්වීමි. මිදි පල මිරිකා, මිදියුස සාදන්නන් නඟන ඝෝෂාව ප්‍රීති නාදයක් නොවේ.</verse>
				<verse number="34">“හෙෂ්බොන්හි හා එලෙයාලේහි සෙනඟ මොරගසති. ඔවුන්ගේ මොරහඬ ජහශ් දක්වා ඇසේ; ශෝවර්හි ජනයාට එය ඇසේ. හොරොනායිම් හා එග්ලත්-ෂෙලීෂිය ද දක්වාත් ඇසේ. නිම්රිම්හි ජලය පවා හිඳී ගොස් ඇත.</verse>
				<verse number="35">මෝවබ්හි ගිරිකුළු දේවාලයන්හි පූජා කරන්නා ද තමාගේ දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කරන්නා ද මම නැති කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="36">“ඒ නිසා මාගේ සිත මෝවබ් ගැන ද කීර්-හෙරෙස් ගැන ද නළාවක් මෙන් දුක් හඬ නඟයි. මන්ද, ඔවුන් උපදවාගත් සම්පත් නැති වී ගොස් ඇත.</verse>
				<verse number="37">සියලු දෙනා ම හිස් මුඩු කරගෙන රැවුල් කපා දමා ඇත. ඔවුන් සිය අත් කපාකොටාගෙන ඉඟටිවල ගෝණි රෙදි බැඳගෙන ඇත.</verse>
				<verse number="38">මෝවබ්හි සියලු පියසි උඩ ද එහි සියලු චතුරශ්‍රවල ද ඇසෙන්නේ වැලපීම පමණකි. මන්ද, කිසිවෙකුට වුවමනා නැති භාජනයක් පොඩි කරන්නාක් මෙන් මා මෝවබ් පොඩි කරදමා ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="39">බලන්න, මෝවබ් සුණු විසුණු වී තිබෙන හැටි! අහෝ! එහි සෙනඟ වැලපෙන හැටි! මෝවබ් ලජ්ජාවෙන් පිටුපා සිටින හැටි! මෙසේ මෝවබ් එය වටකර සිටි සියල්ලන්ට සරදමට හා භීතියට කරුණක් වී ඇත.”</verse>
				<verse number="40">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “යම් ජාතියක් රාජාලියෙකු මෙන් වේගයෙන් ඉගිලී අවුත් මෝවබ්ට විරුද්ධ ව පියාපත් විහිදුවනු ඇතැ යි ස්වාමීන් වන මම කීවෙමි.</verse>
				<verse number="41">නගර සතුරාට අසු වනු ඇත; බලකොටු අල්ලා ගනු ලැබේ; මෝවබ්හි හේවායන්ගේ සිත ප්‍රසව වේදනාව විඳින ස්ත්‍රියකගේ සිත මෙන් වන්නේ ය.</verse>
				<verse number="42">මෝවබ් තමන් උසස් ලෙස සැලකූ බැවින්, මින්පසු ජාතියක් ව නොසිටින ලෙස විනාශ කරනු ලබන්නේ ය.</verse>
				<verse number="43">අහෝ, මෝවබ් වැසියෙනි! භීතියත්, බොරු වළත්, මලපතත් නුඹලා ඉදිරියේ ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="44">භීතිය කෙරෙන් පලා යන්නා බොරු වළේ වැටේ; බොරු වළෙන් ගොඩ වන්නා මලපතට අසු වේ. මන්ද, මෝවබ්ට දඬුවම් දෙන අවුරුද්ද තුළ මේ සියලු විපත් ඔවුන්ට පමුණුවනු ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="45">පලා ගිය අය ආරක්ෂාව සොයා හෙෂ්බොන්හි නතර වී දුබල ව සිටිති. මන්ද, හෙෂ්බොන් සිට ගින්නක් නැඟී ඇත. සිහොන් මාලිගාවෙන් ගිනි දලුවක් පිට වී ඇත. එයින් මෝවබ් රටේ හා ඝෝෂාකාරී පුත්‍රයන්ගේ පළාතේ දේශ සීමා දවාලනු ඇත.</verse>
				<verse number="46">අහෝ, මෝවබ්! නුඹට වන විපතක මහත! කෙමොෂ්හි සෙනඟ විනාශ වී ඇත. නුඹේ දරුදැරියෝ වහල්කමට ගෙනයනු ලැබූ හ.</verse>
				<verse number="47">එහෙත්, මතු දවස්වල දී මම මෝවබ්ට සමෘද්ධිය යළි ඇති කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. මෝවබ් ගැන විනිශ්චය මෙය වේ.”</verse>
			</chapter>
			<chapter number="49">
				<verse number="1">අම්මොන්වරුන් ගැන සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් දේශයේ වැසියෝ නැද් ද? එයට උරුමක්කාරයෝ නැද් ද? ඇත්නම්, මල්කාම් දෙවියාට නමස්කාර කරමින් සෙනඟ ගාද් රට හිමි කරගෙන නගරවල වාසය කරන්නේ මන් ද?</verse>
				<verse number="2">මෙසේ වී තිබෙන බැවින්, රබ්බා නගරයේ වෙසෙන සෙනඟට යුද්ධ ඝෝෂාව ඇසෙන කාලයක් පැමිණෙන්නේ ය. අම්මොන්වරුන් සිටින ඒ නගරය නටබුන් ගොඩක් වන්නේ ය. ඊට අයිති ගම් ද ගින්නෙන් දවාලනු ලබන්නේ ය. එවිට සිය දේශයෙන් පන්නාදමන ලද ඉශ්රායෙල් ජනතාව සිය දේශය හිමි තමන් පැන්නුවන් ඔවුන්ගේ දේශයෙන් පන්නාදමති. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="3">අහෝ, හෙෂ්බොන් වැසියෙනි! කෑමොරගසන්න; මන්ද, හායි නටබුන් ගොඩක් විය. එම්බා, රබ්බා වනිතාවෙනි! කෑගසමින්, ගෝණි රෙදි හැඳගෙන, විලාප කියමින් වැටකොටු අතරේ ඔබමොබ දුවන්න. මන්ද, මල්කාම් දෙවියා ද ඔහුගේ පූජකයෝ ද අධිපතීහු ද එක් ව වහල්කමට යන්නෝ ය.</verse>
				<verse number="4">අවිශ්වාසී ජනයෙනි, නුඹලා සාරවත් මිටියාවත් ගැන පාරට්ටු කරගන්නේ කුමට ද? අපට විරුද්ධ ව පැමිණෙන්නෝ කවුරු දැ යි කියමින්, නුඹලාගේ වස්තු කෙරෙහි නුඹලා විශ්වාසය තබන්නහු ය.</verse>
				<verse number="5">නුඹලා වටකර සිටින සියල්ලන්ගෙන් නුඹලා පිට භීතියක් මම පමුණුවන්නෙමි. නුඹලා එකිනෙකා පන්නනු ලබන්නහු ය. පලා යන අය පිළිගැනීමට ද කිසිවෙක් නොවන්නෝ ය. මෙසේ පවසන්නේ සියලු බලැති ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="6">“එහෙත්, පසු ව අම්මොන්වරුන්ගේ වහල්කම මම පහකරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
				<verse number="7">ඒදොම් ගැන සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒදොම්හි නැණනුවණ තවත් නැද් ද? දැනුමැතිකම් දීමේ ශක්තිය නැණවතුන්ට තවත් නැද් ද? ප්‍රඥාව ඔවුන්ගෙන් පහ ව ගොස් ඇද් ද?</verse>
				<verse number="8">දෙදාන් වැසියෙනි, දුවන්න; හැරී දුර බැහැරට ම ගොස් වාසය කරන්න. මන්ද, මා විසින් ඒසව්ගේ පරපුරට දඬුවම් කරනු ලබන කාලය පැමිණ තිබෙන බැවින් මම ඔවුන් විනාශ කරදමමි.</verse>
				<verse number="9">මිදි පල නෙළන්නන් මිදි පල නෙළන්නට ආ විට ඔවුන්ගෙන් හැළෙන ඉතිරි මිදි පල ඇහිඳගන්නට ඉඩ හැරියේ නැද් ද? රාත්‍රියේ සොරුන් ආවොත් ඔව්හු ඇති පමණට වඩා සොරකම් කරන්නෝ ද?</verse>
				<verse number="10">එහෙත්, මම කිසිත් ඉතිරි නොකොට, ඒසව්ගේ පරපුර වනසන්නෙමි. ඔවුන්ට තවත් සැඟවෙන්නට බැරි වන ලෙස ඔවුන් සැඟවී සිටින තැන් එළිදරව් කරන්නෙමි. ඒදොම්හි ජනයා ද ඔවුන්ගේ ඥාතීහු ද අසල්වාසීහු ද විනාශ කරන ලදහ. කිසිවෙක් ඉතිරි වන්නේ නැත.</verse>
				<verse number="11">නුඹලාගේ අනාථ දරුවන් මා සමඟ තබා යන්න, මම ඔවුන් රැකබලාගන්නෙමි. නුඹලාගේ වැන්දඹුවෝ ද මා කෙරෙහි විශ්වාස කරත් වා.”</verse>
				<verse number="12">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “දඬුවම නමැති කුසලානෙන් පානය කිරීමට නුසුදුසු අය පවා පානය කළෝ නම්, නුඹලා දඬුවම් නොලබන්නහු ද? නැත. නුඹලා එය පානය කළ යුතු ම ය.</verse>
				<verse number="13">බොශ්රා නගරය භීතියට ද සරදමට ද පාළුවට ද සාපයට ද ලක් වන බව මම දිවුරා කියමි. එහි අසල නගර සදහට ම පාළු වී යනු ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
				<verse number="14">ජෙරමියා පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “ඒදොම්ට විරුද්ධ ව පහර දෙන පිණිස සේනාවක් සූදානම් කරගන්නැ යි කියන පිණිස විජාතීන් අතරට තානාපතියෙක් යවන ලද්දේ ය යන ආරංචිය සමිඳාණන් වහන්සේගෙන් මම ලදිමි.</verse>
				<verse number="15">නුඹලා විජාතීන් අතර දුබල ජාතියක් ද මිනිසුන් ඉදිරියෙහි නිවටකමට පත් වූ ජාතියක් ද කිරීමට සමිඳාණන් වහන්සේ සූදානම් වන සේක.</verse>
				<verse number="16">පර්වත ගුහාවල හා හෙල් මුදුන්වල වාසය කරන නුඹලා අනුන් බියගන්වන සුලු නුඹලාගේ සිත්හි උඩඟුකමෙන් රැවටී සිටින්නහු ය. නුඹලාගේ වාසස්ථානය රාජාලියෙකුගේ කූඩුව මෙන් ඉතා ඉහළින් පිහිටා ඇතත්, සමිඳාණන් වහන්සේ නුඹලා පහළට හෙළන සේක. සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක.”</verse>
				<verse number="17">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒදොම් භීතියට හේතුවක් වන්නේ ය. ඒ අසලින් යන සියල්ලෝ විස්මයට පත් වී ඊට පැමිණ තිබෙන විපත්ති ගැන දොඩන්නෝ ය.</verse>
				<verse number="18">සොදොම්හි සහ ගොමොරාවේ ද එහි අසල නගරවල ද ඇති වූ විනාශය ඒදොම්ටත් සිදු වන්නේ ය. කිසි මිනිසෙක් එහි වාසය නොකරන්නේ ය. කිසිවෙක් එහි පදිංචි නොවන්නේ ය.</verse>
				<verse number="19">ජොර්දානයේ වන ලැහැබින් නික්ම සරු ගොදුරු බිම් කරා පැමිණෙන සිංහයෙකු මෙන් මම අවුත් ඒදොම් වැසියන්ට සිය දේශයෙන් පලා යන්නට සලස්වන්නෙමි. එවිට මා සතුටු කෙනෙකු තෝරාගෙන රට පාලනය කිරීමට පත් කරනු ඇත. මට සමාන වන්නේ කවරෙක් ද? මට අභියෝග කරන්නේ කවරෙක් ද? කවර නම් නායකයෙක් මට එදිරි වන්නේ ද?</verse>
				<verse number="20">ඒ නිසා, ඒදොම් වැසියන්ට විරුද්ධ ව කර ඇති යෝජනා ද තේමාන් නගර වැසියන්ට විරුද්ධ ව මා සූදානම් කර ඇති සැලසුම් ද ගැන සවන් දෙන්න. ඔවුන් කුඩා දරුවෝ පවා ඇදගෙන යනු ලබති. සියල්ලෝ ඔවුන්ගේ ඉරණම ගැන බියට පත් වන්නෝ ය.</verse>
				<verse number="21">ඒදොම් වැටෙන විට, ඒ ශබ්දයෙන් පොළොව කම්පා වී යන්නේ ය. ඔවුන්ගේ කෑගැසීමේ හඬ රතු මුහුද දක්වා ඇසෙනු ඇත.</verse>
				<verse number="22">සතුරා රාජාලියෙකු මෙන් නැඟී ඉගිලී අවුත්, බොශ්රා පිට සිය පියාපත් විදහා පානු ඇත. ඒ දවසේ දී ඒදොම්හි හේවායන්ගේ සිත් ප්‍රසව වේදනාව විඳින ස්ත්‍රියකගේ සිත මෙන් භීතියට පත් වන්නේ ය.”</verse>
				<verse number="23">දමස්කය ගැන සමිඳාණන් වහන්සේ වදාළ දේ මෙසේ ය: “හමාත් හා අර්පාද් යන නගරවල වැසියන්ට නරක ආරංචියක් ලැබී ඇති බැවින් ඔව්හු කැළඹීමට පත් වී සිටිති. චංචලය ඇති නිශ්චලයක් නැති මුහුද මෙන් ඔව්හු භීතියෙන් ඇලළී යති.</verse>
				<verse number="24">දමස්කයේ වැසියෝ බෙලහීන ව භීතියෙන් පලා යන්නට හැරී සිටිති. ප්‍රසව වේදනාවෙන් සිටින ස්ත්‍රියක මෙන් ඔව්හු වේදනාවෙන් හා දුකෙන් මිරිකෙති.</verse>
				<verse number="25">කීර්තිමත්, ප්‍රීතිමත් නුවර දැන් පාළුවට ගොස් තිබෙන හැටි!</verse>
				<verse number="26">එබැවින් එහි තරුණයෝ චතුරශ්‍රයන්හි වැටෙන්නෝ ය. ඒ දවසේ දී ඇගේ හේවායෝ විනාශයට පත් වන්නෝ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="27">මම දමස්කයේ පවුරු ඇතුළත ගින්නක් දල්වා එයින් බෙන්-හදද්ගේ මාලිගා දවාදමන්නෙමි.”</verse>
				<verse number="28">බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් විසින් පහර දෙන ලද කේදාර් ගැනත්, හාශෝර්හි රාජ්‍යයන් ගැනත් සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “නුඹලා නැඟිට කේදාර්ට විරුද්ධ ව ඉදිරියට ගමන් කරන්න; පෙරදිග වසන ජනයා විනාශ කරදමන්න.</verse>
				<verse number="29">ඔවුන්ගේ කූඩාරම් ද බැටළු පට්ටි ද කූඩාරම්වල තිර ද සියලු භාණ්ඩ ද සතු කරගන්න. ඔවුන්ගේ ඔටුවන් ද අයිති කරගන්න; එවිට, ‘අවට භීතියෙන් පිරී ඇතැ’යි සෙනඟ මොරගසනු ඇත.</verse>
				<verse number="30">‘හාශෝර් වැසියෙනි, පැන දුවන්න. ඈතට පලා ගොස්, එපිට තැනක වාසය කරන්නැ’යි ස්වාමීන් වන මම කියමි. මන්ද, බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් නුඹලාට විරුද්ධ ව උපක්‍රම යොදා ඇත;</verse>
				<verse number="31">දොරටු හෝ අගුල් හෝ නොමැති ව, සුරැකි ව සුව සේ වසන සෙනඟට පහර දීමට ඉදිරියට යන්න. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.</verse>
				<verse number="32">ඔවුන්ගේ ඔටුවන් ද ගව පට්ටි ද කොල්ලයට ගන්න. හිස බූගාගන්න අය මම හැම අතට ම විසුරුවාදමන්නෙමි. හැම දිශාවකින් ම ඔවුන් පිට විනාශය පමුණුවන්නෙමි. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ ය.</verse>
				<verse number="33">හාශෝර්, හිවලුන්ගේ ගුහාවක් ද සදාකාල පාළුකරයක් ද වන්නේ ය. කිසි ම මිනිසෙක් එහි වාසය කරන්නේ වත් එහි ජීවත් වන්නේ වත් නැත.”</verse>
				<verse number="34">ශෙදෙකියා රජු ජුදාහි රජකමට පත්වීමේ පටන්ගැන්මේ දී, ඒලාම් රට ගැන සමිඳාණන් වහන්සේ ජෙරමියාට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="35">“ඒලාම් බලවත් රටක් කළ දුනුවායන් මම මරාදමමි.</verse>
				<verse number="36">මම ඒලාම්ට විරුද්ධ ව සතර කොනෙන් සුළං සතරක් හමන්න සලස්වා ඒ සුළඟින් එහි වැසියන් හැම අතට ම විසුරුවා දමන්නෙමි. ඒලාම් රටෙන් පන්නනු ලබන අය පලා නොයන රටක් නොවන්නේ ය.</verse>
				<verse number="37">එසේ ය, මම ඒලාම්වරුන්, ඔවුන්ගේ සතුරන් ද ඔවුන්ගේ ප්‍රාණය හානි කරන්න සොයන්නන් ද ඉදිරියෙහි බියගන්වා, මාගේ රුදුරු කෝපයෙන් ඔවුන් විනාශ කර, ඔවුන් සම්පූර්ණයෙන් වනසාලන තුරු මරණය ඔවුන් ලුහුබඳවා යන්න සලස්වන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="38">ඒලාම්හි රජවරුන් ද අධිපතීන් ද විනාශ කරදමා මම මාගේ සිහසුන එහි පිහිටුවන්නෙමි.</verse>
				<verse number="39">එහෙත්, මතු දවස්වල දී ඒලාම් යළිත් සමෘද්ධිමත් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
			</chapter>
			<chapter number="50">
				<verse number="1">කල්දිවරුන්ගේ දේශය වන බබිලෝනිය ගැන සමිඳාණන් වහන්සේ දිවැසිවර ජෙරමියාට දුන් පණිවුඩය මෙය වේ:</verse>
				<verse number="2">“ ‘බබිලෝනිය වැටී ඇත; බේල් ලජ්ජාවට පත් වී ඇත; මෙරොදක් කැළඹී සිටියි; ඇගේ දේව රූප නින්දාවට ලක් වී ඇත. ඇගේ රූප කැළඹීමට පත් වී ඇත’ යන ආරංචිය ජාතීන් අතරේ පතුරුවන්න. එය ප්‍රකාශ කරන්න; ධජ සංකේතයක් නංවා එය නොසඟවා ප්‍රසිද්ධ කරන්න.</verse>
				<verse number="3">මන්ද, බබිලෝනියට පහර දෙන පිණිස උතුරු දිගින් ජාතියක් පැමිණෙන්නේ ය. ඔව්හු බබිලෝනිය පාළු කර දමන්නෝ ය. කිසිවෙක් එහි නොවසන්නෝ ය. මනුෂ්‍යයෝ ද මෘගයෝ ද පලා යන්නෝ ය.”</verse>
				<verse number="4">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ දවස්වල දීත් ඒ කාලවල දීත් ඉශ්රායෙල්හි හා ජුදාවේ සෙනඟ එක් ව තමන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ වන මා සොයමින් අඬ අඬා පැමිණෙන්නෝ ය.</verse>
				<verse number="5">ඔව්හු සියොන් කන්දට යන මාර්ගය කුමක් දැ යි අසමින් ඒ දෙසට ගමන් කරන්නෝ ය. ‘එන්න අපි සමිඳාණන් වහන්සේ සමඟ අමතක නොවන සදාතනික ගිවිසුමක් කරගනිමු’යි ඔව්හු කියන්නෝ ය.</verse>
				<verse number="6">“මාගේ සෙනඟ නැති වූ බැටළුවන් මෙන් වෙති. ඔවුන්ගේ එඬේරු ඔවුන් මුළා කර කඳුවල නැති වී යන්නට සැලැස්සුවෝ ය. ඔව්හු කන්දෙන් කන්දට ඇදී යමින් ඔවුන්ගේ ලැගුම් ගාල මතක නැති කළෝ ය.</verse>
				<verse number="7">ඔවුන්ට මුණගැසුණු සියල්ලෝ ම ඔවුන් ගොදුරු කොට ගත්තෝ ය. ඔවුන්ගේ එදිරිකාරයෝ කතා කොට, ‘ඔව්හු තමන්ගේ සරණය වන සමිඳාණන් වහන්සේට, එනම්, තමන්ගේ පියවරුන්ගේ බලාපොරොත්තුව වූ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය. අපි වැරදිකාරයෝ නොවමු’යි කීවෝ ය.</verse>
				<verse number="8">“කල්දිවරුන්ගේ දේශය වන බබිලෝනියේ සිටින ඉශ්රායෙල් ජනයෙනි, රැළට පෙරටුවෙන් යන එළුවන් මෙන් පලා යන්න.</verse>
				<verse number="9">මන්ද, මම උතුරු දේශයෙන් බලවත් ජාතීන් රැසක් බබිලෝනියට විරුද්ධ ව පොළඹවා ගෙනෙන්නෙමි. ඔවුන් බබිලෝනියට විරුද්ධ ව සැරසී සිට එය අල්ලාගනු ඇත. ඔවුන් විදින ඊගස කවදාවත් හිස් අතින් ආපසු නොඑන දක්ෂ වීරයන් මෙන් ඒවායේ ඉලක්කය නොවරදවන්නේ ය.</verse>
				<verse number="10">බබිලෝනිය කොල්ලකනු ලැබේ. ඒ දේශයෙන් කොල්ලකන සියල්ලෝ ම තෘප්තියට පැමිණෙන්නෝ ය.”</verse>
				<verse number="11">“බබිලෝනියේ වැසියෙනි, නුඹලා මාගේ දේශය කොල්ලකෑවහු ය. ගොයම් මඩින එළ නෑම්බියක මෙන් නුඹලා පැන පැන සිටිමින්, ශක්තිමත් අශ්වයන් මෙන් හේෂාරවය කරමින් ප්‍රීති වන්නහු ය.</verse>
				<verse number="12">නුඹලාගේ මවුබිම දැරිය නොහැකි නින්දාවටත්, අපවාදයටත් පාත්‍ර වී ඇත. ජාතීන් අතරෙන් බබිලෝනිය ඉතා පහත් ජාතිය වන්නේ ය. එය වතුර නැති වියළි බිමක් ද පාළුකරයක් ද මරුකතරක් ද වන්නේ ය.</verse>
				<verse number="13">මාගේ කෝපය නිසා කිසිවෙක් බබිලෝනියේ ජීවත් නොවෙති. එය නටබුන් ගොඩක් වන්නේ ය. බබිලෝනිය ළඟින් යන සියල්ලෝ ම එයට සිදු වී තිබෙන දේ ගැන විස්මයට පත් ව, ඊට වූ විපත්ති ගැන ඊට නින්දා කරන්නෝ ය.</verse>
				<verse number="14">දුනුවායෙනි, බබිලෝනියට විරුද්ධ ව එය වටකර යුද්ධයට සැරසී අන්තිම ඊගස දක්වා එයට විදින්න. මන්ද, එය සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කර ඇත.</verse>
				<verse number="15">බබිලෝනියට විරුද්ධ ව එය වටකර රණ ඝෝෂා කරන්න. බබිලෝනිය දැන් යටත් වී ඇත. එහි ප්‍රාකාර වැටී ඇත; පවුරු කඩාදමා ඇත. මෙය සමිඳුන්ගෙන් ලත් දඬුවම ය. බබිලෝනියෙන් පළිගැනීමට ඒ දේශය කළ ලෙස ම එයටත් කරන්න.</verse>
				<verse number="16">වපුරන්නන් ද දෑකැත්ත අතින් ගත් ගොයම් කපන්නන් ද බබිලෝනියෙන් වනසාලන්න. පීඩා කරන කඩුවට බියෙන් සියලු දෙනා ම තම තමන්ගේ සෙනඟ වෙත හැරී සිය මවුබිම බලා පලා යන්නෝ ය.”</verse>
				<verse number="17">“ඉශ්රායෙල් වනාහි සිංහයන් විසින් ලුහුබඳිනු ලැබ පන්නාදමනු ලැබූ බැටළුවන් වැනි ය. පළමුකොට අසිරියාවේ රජ ඉශ්රායෙල් ගොදුරට ගත්තේ ය. අවසානයේ දී බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් ඉශ්රායෙල්ගේ ඇටකටු පොඩිකරදැම්මේ ය.</verse>
				<verse number="18">එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ වන මම අසිරියාවේ රජුට දඬුවම් කළාක් මෙන් බබිලෝනියේ රජුටත්, ඔහුගේ දේශයටත් දඬුවම් කරන්නෙමි.</verse>
				<verse number="19">ඉශ්රායෙල් ජනයා යළිත් ඔවුන්ගේ දේශයට පමුණුවන්නෙමි. ඔව්හු කර්මෙල්හි ද බාෂාන්හි ද වැවෙන ආහාරයෙන් පෝෂණ වන්නෝ ය. එප්‍රායිම් හෙල් පිට ද ගිලියද්හි ද වැවෙන සියලු දේ අනුභව කොට තෘප්තියට පැමිණෙන්නෝ ය.</verse>
				<verse number="20">ඒ දවස්වල දී හා ඒ කාලවල දී ඉශ්රායෙල්වරුන්ගේ අපරාධ සොයන නමුත්, එහි කිසිවක් සම්බ නොවන්නේ ය. ජුදාගේ පාපයන් සොයන නමුත්, ඒ කිසිවක් ද සම්බ නොවන්නේ ය. කුමක් නිසා ද, මා ඉතිරි වන්නට හරින සෙනඟ කමාව ලබන බැවිනි. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.</verse>
				<verse number="21">“මෙරාතයිම් දේශයටත්, පෙකොඩ්හි වැසියන්ටත් විරුද්ධ ව නැඟී ගොස් ඔවුන් ලුහුබැඳ, ඔවුන් සහමුලින් ම විනාශ කර දමන්න; මා නුඹලාට අණ කළ සියල්ල කරන්න. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="22">යුද්ධ කිරීමේ ද මහත් විනාශයේ ද ඝෝෂාව දේශය පුරා ඇසෙයි.</verse>
				<verse number="23">බබිලෝනිය කුළුගෙඩියක් මෙන් මුළු ලොවට පහර දුන්නේ ය. දැන් ඒ කුළුගෙඩිය කැඩී බිඳී ගොස් තිබෙන හැටි! ජාතීන් අතර බබිලෝනිය භයානක දර්ශනයක් වී තිබෙන හැටි!</verse>
				<verse number="24">අහෝ බබිලෝනිය! මම නුඹට මලපතක් තැබීමි, නුඹ ද නොදැනුවත් ව ම එයට අසුවුණෙහි ය. නුඹ මට විරුද්ධ ව යුද්ධ කළ නිසා අසු වී අල්ලන ලද්දෙහි ය.</verse>
				<verse number="25">මහෝත්තම දෙවි ස්වාමීන් වන මම ම මාගේ ගබඩා හැර මාගේ කෝපය නමැති ආයුධ එළියට ගත්තෙමි. මන්ද, සව් බලැති දෙවි ස්වාමීන් වන මට බබිලෝනිය සම්බන්ධයෙන් යම් කාර්යයක් කරන්නට තිබේ.</verse>
				<verse number="26">සෑම දෙසින් ම ඈට විරුද්ධ ව නැඟී එන්න; ඇගේ ධාන්‍ය ගබඩා අරින්න; ධාන්‍ය ගොඩක් මෙන් ඇය රැස්කොට වනසන්න; කිසිවක් ඉතිරි නොකරන්න.</verse>
				<verse number="27">ඇගේ සියලු හේවායන් මරාදමන්න; ඔවුන් ඝාතනය කරන්න; ඔවුන්ට වන විපතක මහත! ඔවුන්ට දඬුවම් දීමේ දවස දැන් ළඟා වී තිබේ.”</verse>
				<verse number="28">බබිලෝනියෙන් ගැළවී පලා ගිය සෙනඟ සියොන්ට පැමිණ, අපේ දෙවි ස්වාමීන් වහන්සේ දේව මාලිගාවට කළ විනාශය නිසා බබිලෝනිවරුන්ගෙන් පළිගත් අයුරු ප්‍රකාශ කළෝ ය.</verse>
				<verse number="29">“බබිලෝනියට විරුද්ධ ව දුනු තැත් කවන දුනුවායන් සියල්ලන් කැඳවන්න; ඈට විරුද්ධ ව වටකරින් කඳවුරු බැඳ, කිසිවෙකුට ගැළවී යන්නට ඉඩ නෑර, ඇගේ ක්‍රියාවන්ට සරිලන සේ ඈට ප්‍රතිවිපාක දී ඈ අනුන්ට කළ ලෙස ම ඈටත් කරන්න. මන්ද ඈ ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ දෙවි ස්වාමීන් වහන්සේ වන මට විරුද්ධ ව නැඟී සිටියා ය.</verse>
				<verse number="30">එබැවින් ඒ දවසේ දී බබිලෝනියේ තරුණයන් වීදිවල වැටෙනු ඇත; එහි සියලු හේවායෝ විනාශ කරනු ලබති. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="31">“බබිලෝනිය, එම්බා අහංකාර ජාතිය! ඒ නිසා සියලු බලැති මහෝත්තම දෙවි ස්වාමීන් වන මම නුඹට විරුද්ධ ව සිටිමි. නුඹට දඬුවම් කිරීමේ කාලය දැන් පැමිණ තිබේ.</verse>
				<verse number="32">උඩඟු ජාතියක් වන නුඹ පැකිළ වැටෙන්නෙහි ය. නුඹ නඟා සිටුවන්න කිසිවෙක් නොවන්නේ ය. මම නුඹේ නගරවල ගින්නක් දල්වන්නෙමි; එයින් නුඹ අවට තිබෙන සියලු දේ දැවී යනු ඇත.”</verse>
				<verse number="33">සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල්හි සෙනඟ ද ජුදාහි සෙනඟ ද එකට පීඩා විඳින්නෝ ය. ඔවුන් වහල්කමට ගත් සියල්ලෝ ඔවුන්ට යන්නට ඉඩහරින්න අකමැති වී ඔවුන් අල්ලාගෙන ම සිටිති.</verse>
				<verse number="34">එහෙත්, ඔවුන්ගේ මිදුම්කාරයාණෝ බලසම්පන්න වන සේක, උන් වහන්සේගේ නාමය සියලු බලැති සමිඳාණන් වහන්සේ ය. ඔවුන්ගේ පැමිණිල්ල සාධාරණ ලෙස විසඳන සේක; ලොවට සාමය දෙන සේක; එහෙත්, බබිලෝනියේ වැසියන්ට කැළඹීම ඇති කරන සේක.</verse>
				<verse number="35">“සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: කඩුව බබිලෝනියේ වැසියන් ද ඇගේ අධිපතීන් ද ඇගේ ප්‍රඥාවන්තයන් ද පිට පැමිණෙන්නේ ය.</verse>
				<verse number="36">කඩුව පේන කියන්නන් පිටට පැමිණ ඔවුන් මෝඩයන් බවට පත් කරනු ඇත. කඩුවක් ඇගේ හේවායන් පිට පැමිණ ඔවුන් විනාශ කරනු ඇත.</verse>
				<verse number="37">කඩුවක් ඔවුන්ගේ අශ්වයන් පිටත්, රථ පිටත්, එහි සිටින විදේශීය සේනාවන් පිටත් පැමිණ ඔවුන් ස්ත්‍රීන් මෙන් දුබල වී යනු ඇත. කඩුවක් ඇගේ වස්තු පිට පැමිණ ඒවා කොල්ලයට යනු ඇත.</verse>
				<verse number="38">නියඟයක් පැමිණ එහි ජලය සිඳී යන්නට සලසනු ඇත. මන්ද, බබිලෝනිය දේව පිළිමයන්ගෙන් පිරී ගිය දේශයකි; ඒවා ගැන එහි සෙනඟ උමතු වී සිටිති.</verse>
				<verse number="39">“එබැවින් වන සතුන් ද සිවලුන් ද බබිලෝනියේ වාසය කරනු ඇත. පැස්බරුන් ද එහි වාසය කරනු ඇත. මින්පසු කිසි කලෙක එහි මනුෂ්‍යයෝ වාසය නොකරති. පරම්පරාවන් ගණනාවක් ඉක්ම ගියත් එහි කිසිවෙක් නොවන්නෝ ය.</verse>
				<verse number="40">දෙවියන් වහන්සේ සොදොම් හා ගොමොරා ද ඒ අසල නගර ද විනාශ කළ කාලයේ දී මෙන්, කිසි ම මිනිසෙක් එහි වාසය නොකරන්නේ ය. කිසිවෙක් ජීවත් වන්නේ නැත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="41">“අන්න, උතුරු දේශයෙන් සෙනඟක් එති. බලවත් ජාතියක් ද බොහෝ රජවරු ද පොළොවේ ඉතා දුර සීමාවලින් නැඟී එති.</verse>
				<verse number="42">ඔව්හු දුනු ද හෙල්ල ද දරන්නෝ ය. ඔව්හු කෲර ය, නපුරු ය; ඔවුන්ගේ හඬ මුහුදු ඝෝෂාව හා සමාන ය. ඔව්හු අසුන් පිට නැඟී එති. එම්බා බබිලෝනිය! ඔව්හු එකෙකු මෙන් නුඹට විරුද්ධ ව යුද්ධ කරන්නට පෙළගැසී සිටිති.</verse>
				<verse number="43">බබිලෝනියේ රජු ඔවුන්ගේ කීර්තිය ගැන ඇසූ විට ඔහුගේ අත් පණ නැති විය. දුක ද ප්‍රසව වේදනාව විඳින ස්ත්‍රියකට මෙන් පීඩනය ද වේදනාව ද ඔහුට ඇති වී තිබේ.</verse>
				<verse number="44">“බලන්න, ජොර්දාන් වනයේ සිට ගොදුරු බිම් කරා නික්ම එන සිංහයෙකු මෙන් ස්වාමීන් වන මම ඔවුන්ට විරුද්ධ ව නැඟී එන්නෙමි. බබිලෝනිවරුන්ට ඔවුන්ගේ නගරයෙන් හදිසියේ ම පලා යන්නට සලස්වන්නෙමි. එවිට මා විසින් තෝරාගනු ලබන කෙනෙකු රට පාලනය කරන්නට පත් කරන්නෙමි. මන්ද, මට සමාන වන්නේ කවරෙක් ද? මට අභියෝග කරන්නේ කවරෙක් ද? මට විරුද්ධ ව නැඟී සිටින්නට පුළුවන් නායකයා කවරෙක් ද?</verse>
				<verse number="45">ඒ නිසා කල්දිවරුන්ගේ දේශය වන බබිලෝනියට විරුද්ධ ව මා යොදාගත් උපක්‍රම ද අදහස් කරගත් අරමුණු ද ගැන සවන් දෙන්න. සැබැවින් ම එහි සිටින කුඩා දරුවෝ පවා ඇදගෙන යනු ලබති. ඔවුන්ගේ ඉරණම ගැන සියලු දෙනා ම බියට පත් වනු ඇත.</verse>
				<verse number="46">බබිලෝනියේ වැටීමේ ශබ්දයට පොළොව කම්පා වනු ඇත. ඔවුන්ගේ කෑගැසීමේ හඬ අවට ජාතීන් අතරේ ඇසෙන්නේ ය.”</verse>
			</chapter>
			<chapter number="51">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “බලන්න! මම බබිලෝනියට ද එහි වැසියන් වන කල්දිවරුන්ට ද විරුද්ධ ව යාමට විනාශකාරයෙකු පොළඹවන්නෙමි.</verse>
				<verse number="2">මම බබිලෝනියට පොළන්නන් යවන්නෙමි. විපත් දවසේ දී ඔව්හු හැම පෙදෙස් ආක්‍රමණය කර, එහි වැසියන් පොළාදමා දේශය හිස් කරති.</verse>
				<verse number="3">තමන්ගේ ඊතල විදින්නට වත්, යුද ඇඳුමෙන් සැරසී සිටින්නට වත් බබිලෝනියේ හේවායන්ට ඉඩ නොදෙන්න. ඇගේ තරුණයන්ට අනුකම්පා නොකොට ඇගේ මුළු සේනාව වනසාලන්න.</verse>
				<verse number="4">කඩුවෙන් නැසුණු අය බබිලෝනියාවේ වීදිවල වැටී සිටින්නෝ ය. තුවාළ වූවෝ ද වීදිවල වැටී සිටින්නෝ ය.</verse>
				<verse number="5">සව් බලැති දෙවි සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් හා ජුදා සෙනඟ අත්හැරදමා නැත. එහෙත්, බබිලෝනි දේශය ඉශ්රායෙල්හි සුවිශුද්ධ තැනැන් වහන්සේට විරුද්ධ ව වරදින් පිරී තිබේ. ඔවුන් අත්හැරදමා ඇත.</verse>
				<verse number="6">ඇගේ දඬුවමට නුඹ ගොදුරු නොවී යන්න. ඇයට නියම විපාකය දෙන සමිඳාණන්ගේ දඬුවම් දීමේ දවස දැන් පැමිණ තිබේ.</verse>
				<verse number="7">
					බබිලෝනිය වනාහි මාගේ අතේ තිබුණු, මුළු පොළොව වෙරිමත් කළ රන් කුසලානක් වැනි ය.
					ඇගේ මිදියුසින් ජාතීහු බීවෝ ය. එබැවින් ජාතීහු මත් වී සිටිති.
				</verse>
				<verse number="8">බබිලෝනිය හදිසියේ වැටී විනාශ වූවා ය. ඈ ගැන වැලපෙන්න; ඇයට සුව වේ දැ යි බලන පිණිස ඇගේ තුවාළ ගුගුල් ඖෂධයෙන් ආලේප කරන්න.</verse>
				<verse number="9">
					විදේශීහු කතා කරමින්, ‘අපි බබිලෝනිය සුව කරන්නට උත්සාහ කෙළෙමු;
					එහෙත්, ඈට සුවය ලැබී නැත. අපි ඇය අත්හැර ආපසු අපේ ම රටවලට යමු. මන්ද, බබිලෝනියේ විනාශය අහස උසට, වලාකුළු දක්වා නැඟුණේ ය’යි කී හ.
				</verse>
				<verse number="10">අප නිවැරැදි බව සමිඳාණෝ එළිදරව් කළ සේක: එන්න, අපි අපේ දෙවි සමිඳුන්ගේ ක්‍රියා සියොන්හි ප්‍රකාශ කරමු.</verse>
				<verse number="11">“සමිඳාණෝ බබිලෝනිය විනාශ කරන්නට අදහස් කර තිබෙන නිසා, මේදිය රටේ රජවරුන්ගේ සිත් එයට පෙළඹවූ සේක. මේ වනාහි එතුමන්ගේ මාලිගාවේ විනාශයට සමිඳුන්ගේ පළිගැනීමකි. පහර දෙන නිලධාරීහු අණ දෙමින්, ‘නුඹලාගේ ඊතල මුවහත් කරගන්න; පලිස් සූදානම් කරගන්න.</verse>
				<verse number="12">බබිලෝනියේ පවුරුවලට පහර දෙන පිණිස ධජ සංකේතයක් ඔසවා සංඥා කරන්න. මුරපොළ සවි කර, මුරකාරයන් සිටුවා; රහස් රැකවල් සේනා පිහිටුවන්නැ’යි කී හ. සමිඳාණෝ බබිලෝනියේ වැසියන් ගැන වදාළ දේ එතුමන් යෝජනා කළ ලෙස ම කළ සේක.</verse>
				<verse number="13">
					“එම්බා! බොහෝ ජලයෙන් සාරවත්, වස්තු සම්භාරයෙන් ධනවත් බබිලෝනි වැසිය, නුඹේ අවසානය දැන් ළඟා වී තිබේ.
					නුඹේ පණ කෙන්ද කපනු ඇත.
				</verse>
				<verse number="14">බබිලෝනියට පහර දෙන පිණිස පළඟැටි සමූහයක් මෙන් විශාල සෙනඟක් ගෙනෙන බවට සව් බලැති සමිඳුන් සිය නාමයෙන් දිවුරා ඇත. ඔවුන් ඝෝෂා නඟනු ඇත.”</verse>
				<verse number="15">“සමිඳාණෝ සිය බලයෙන් පොළොව සෑදූ සේක; සිය ප්‍රඥාවෙන් ලෝකය මැවූ සේක. සිය බුද්ධියෙන් අහස විදහා ලූ සේක.</verse>
				<verse number="16">එතුමන්ගේ අණින් අහසේ ජල ඝෝෂාවක් ඇති වන්නේ ය. එතුමාණෝ පොළොවේ සීමාවලින් වලාකුළු නැඟී එන්නට සලසන සේක; වර්ෂාව සඳහා විදිලි කෙටීම් ඇති කරන සේක; සිය ගබඩාවලින් සුළඟ හමවන සේක.</verse>
				<verse number="17">මේ හේතුව නිසා, සියලු මනුෂ්‍යයෝ කිසි දැනගැන්මක් නැති අනුවණයන් මෙන් වෙති. සියලු රන්කරුවෝ තමන්ගේ කැපූ රූප ගැන ලජ්ජාවට පැමිණ සිටිති. මන්ද, ඔවුන් තැනූ රූප සත්‍යයක් පිළිබිඹු නොකරයි. ඒවා ජීවමාන නොවෙයි.</verse>
				<verse number="18">ඒවා නිෂ්ඵල, රවටන සුලු කෘතීහු ය. ඒවාට දඬුවම් කරන කාලය පැමිණි විට ඒවා විනාශ වී යනු ඇත.</verse>
				<verse number="19">ජාකොබ්ගේ දෙවිඳාණෝ ඒවාට සමාන නොවන සේක. එතුමාණෝ වනාහි සියලු දේ මැවූ තැනැන් වහන්සේ ය. ඉශ්රායෙල් වනාහි එතුමන් තෝරාගත් ගෝත්‍රය ය. එතුමන්ගේ නාමය සව් බලැති සමිඳාණෝ ය.”</verse>
				<verse number="20">“සමිඳාණෝ මෙසේ වදාරන සේක: ‘එම්බා බබිලෝනිය! නුඹ මාගේ කුළුගෙඩිය හා යුද්ධ ආයුධය වන්නෙහි ය. මම නුඹ උපයෝගී කරගෙන ජාතීන් බිඳ හෙළන්නෙමි; රාජ්‍යයන් විනාශ කරන්නෙමි.</verse>
				<verse number="21">අශ්වයාත්, අශ්වාරෝහකයාත් මම විනාශ කරන්නෙමි. රිය සහ රිය සෙබළුන් විනාශ කරමි.</verse>
				<verse number="22">ස්ත්‍රීන් හා පුරුෂයන් ද බාල හා මහලු සියල්ලන් ද විනාශ කරමි. තරුණ තරුණියන් ද නැති කරදමමි.</verse>
				<verse number="23">එඬේරා සහ ඔහුගේ රැළත් පොඩි කරදමමි. ගොවියා සහ ඔහුගේ ගොන් බානත් පොඩි කරදමමි. ආණ්ඩුකාරයන් සහ ඔවුන්ගේ ප්‍රධානීන් ද පොඩි කරදමමි.’ “</verse>
				<verse number="24">“සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘බබිලෝනිය සහ එහි සෙනඟ සියොන්ට විරුද්ධ ව කළ සියලු අපරාධ නිසා ඔවුන්ට මා ප්‍රතිවිපාක දෙන බව නුඹලාට පෙනෙනු ඇත.</verse>
				<verse number="25">එම්බා බබිලෝනිය! නුඹ මුළු පොළොව විනාශ කරන කන්දක් හා සමාන ය. එහෙත්, ස්වාමීන් වන මම නුඹේ සතුරා වෙමි. මාගේ බාහුව නුඹට විරුද්ධ ව ඔසවා පර්වතවලින් නුඹ පෙරළා දමා පිළිස්සී ගිය කන්දක් මෙන් කරන්නෙමි.</verse>
				<verse number="26">ගොඩනැඟිල්ලක කොණකට ගලක් වත්, අත්තිවාරම්වලට ගලක් වත් නුඹෙන් ගනු නොලැබේ. නුඹ සදාකාලයට ම පාළුකරයක් වන්නෙහි ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="27">“දේශයෙහි ධජ සංකේතයක් ඔසවා, ජාතීන් අතරෙහි හොරණෑවක් පිඹ බබිලෝනියට පහර දෙන පිණිස ජාතීන් සූදානම් කරන්න. ආරාරත්, මින්නි, අස්කෙනස් යන රාජ්‍යයන් කැඳවන්න. ප්‍රහාර මෙහෙයවන්නට සේනාධිපතියෙකු පත් කරන්න. කෙඳි පළඟැටියන් රැසක් මෙන් අශ්ව සේනාවක් නැඟී එන්නට සලස්වන්න.</verse>
				<verse number="28">බබිලෝනියට විරුද්ධ ව සටන් කරන පිණිස ජාතීන් ද මේදයේ රජවරුන් ද එහි ආණ්ඩුකාරයන් ද එහි නියෝජ්‍ය ප්‍රධානීන් ද ඔවුන් යටතේ ඇති සියලු දේශයන් ද සූදානම් කරන්න.</verse>
				<verse number="29">පොළොව කම්පා වෙයි; වේදනාවෙන් මෙන් ඇඹරෙයි. මන්ද, බබිලෝනිය වැසියන් විරහිත පාළුකරයක් කිරීමට සමිඳාණන් ගත් අරමුණ ඉටු වන්නේ ය.</verse>
				<verse number="30">බබිලෝනියේ හේවායෝ සටනින් පසු බැස තමන්ගේ බලකොටුවල රැඳී සිටිති. ඔවුන්ගේ බලය හීන වී ඔව්හු ස්ත්‍රීන් මෙන් දුබල වී සිටිති. බබිලෝනියේ වාසස්ථාන ගිනි ලා තිබේ. නගරයේ දොරටු කඩාදමා තිබේ.</verse>
				<verse number="31">නගරය හැම පැත්තෙන් ම අසු වී තිබෙන බව බබිලෝනියේ රජුට දන්වන පිණිස පණිවුඩකාරයන් පිට පණිවුඩකාරයන් යවනු ඇත.</verse>
				<verse number="32">එහි වරායයන් අල්ලාගනු ඇත; පවුරු ගින්නෙන් දැවී ඇත; හේවායෝ බියෙන් වෙවුළති.</verse>
				<verse number="33">බබිලෝනිය ගොයම් පාගන කාලයෙහි දී දකින්නට ලැබෙන කමතක් වැනි ය. තව ස්වල්ප කාලයකින් ගොයම් කපන කාලය පැමිණෙනු ඇත. ඉශ්රායෙල්වරුන්ගේ සව් බලැති දෙවි සමිඳාණෝ මෙසේ පවසන සේක.</verse>
				<verse number="34">“බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් තෙමේ ජෙරුසලම විනාශ කර, පාගා, පොඩි කරදමා එය හිස් භාජනයක් මෙන් කරනු ඇත. ඔහු රකුසෙකු මෙන් ජෙරුසලම ගිලදමා, එහි ප්‍රිය වූ දේවලින් තමාගේ කුස පුරවාගෙන ඉතිරි හරිය ඉවතට විසි කෙළේ ය.</verse>
				<verse number="35">‘අපටත් අපේ වංශයටත් කළ සැහැසිකම් බබිලෝනිය පිට වැටේ වා’යි සියොන්හි සෙනඟ කියත් වා! ජෙරුසලමෙහි සිඳ හෙළුණු ලෙය කල්දිවරුන් පිට වැටේ වා’යි ජෙරුසලම් වැසියෝ කියත් වා.”</verse>
				<verse number="36">එබැවින් සමිඳාණන් වහන්සේ ජෙරුසලමේ ජනයාට මෙසේ වදාළ සේක: “මම නුඹලාට යුක්තිය ඉටු කරමි. නුඹලා උදෙසා පළිගන්නෙමි. මම බබිලෝනියේ මුහුද හිඳී යන්නට සලස්වා, ඇගේ උල්පත් වියළී යන්නට සලස්වන්නෙමි.</verse>
				<verse number="37">එවිට බබිලෝනිය කිසි වැසියෙකු නැති, ජරාවාසයක් වන්නී ය; සිවලුන් වසන ගුහාවලට හැරෙන්නී ය; භීතියට හා සරදමට කරුණක් වන්නී ය.</verse>
				<verse number="38">බබිලෝනි ජනයා එක් ව සිංහයන් මෙන් නාද කරනු ඇත; සිංහ පැටියන් මෙන් ගොරවනු ඇත,</verse>
				<verse number="39">ඔවුන් කෑදර වූ විට මම ඔවුන්ට මංගල භෝජනයක් පිළියෙළ කර දී, වෙරි මත් වන තෙක් බොන්නට දී ඔවුන් ක්ලාන්ත වූ විට, නොපිබිදෙන හැටියට ඔවුන් සදා නින්දට පත් කරවන්නෙමි.</verse>
				<verse number="40">බැටළු පැටවුන් ද බැටළුවන් සහ එළුවන් ද මෙන් ඝාතනය පිණිස මම ඔවුන් ගෙනෙන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
				<verse number="41">සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “බබිලෝනිය අල්ලාගනු ලැබූ හැටි! මුළු පොළොවේ කීර්තිය දැරූ නගරය අසු වූ හැටි! බබිලෝනිය ජාතීන් අතරේ ත්‍රාසයක් වූ හැටි!</verse>
				<verse number="42">මුහුද බබිලෝනිය පිට ගලා ආවේ ය. එහි රැළ රාශියෙන් බබිලෝනිය යට වී ගියේ ය.</verse>
				<verse number="43">බබිලෝනියේ නගර බියකරු ඉඩමක් ද වියළි බිමක් ද මරුකතරක් ද කිසි මිනිසෙකු වාසය නොකරන, කිසිවෙකු එහි ගමන් නොකරන දේශයක් ද වී තිබේ.</verse>
				<verse number="44">මම බබිලෝනියේ දෙවියා වන බේල්ට දඬුවම් කොට, ඔහු ගිලගත් දේ ඔහුගේ මුඛයෙන් එළියට අදින්නෙමි. ජාතීහු ඔහුට තවත් නමස්කාර නොකරන්නෝ ය. එසේ ය, බබිලෝනියේ පවුරු ඇද වැටෙන්නේ ය.</verse>
				<verse number="45">ඉශ්රායෙල් ජනයෙනි, බබිලෝනියෙන් පිට වී ගොස් මාගේ බලවත් උදහසින් එකිනෙකා තම තමාගේ ප්‍රාණය ගළවාගන්න.</verse>
				<verse number="46">දේශයේ දී නුඹලා අසන ආරංචි නිසා නුඹලාගේ සිත් අධෛර්යයට හා බියට ඉඩ නොදෙන්න. මන්ද, දේශයෙහි සැහැසිකම ගැන ද රජ කෙනෙකු රජ කෙනෙකුට විරුද්ධ ව සටන් කිරීම ගැන ද එක අවුරුද්දක එක ආරංචියක් ද ඊට පසු අවුරුද්දේ තවත් ආරංචියක් ද පැතිර යන්නේ ය.</verse>
				<verse number="47">එබැවින් බබිලෝනියේ තිබෙන කැපූ රූපවලට මා දඬුවම් කරන දවස් පැමිණෙන්නේ ය. මුළු දේශය ලජ්ජාවට පමුණුවනු ලබන්නේ ය. මරනු ලබන සියල්ලෝ එහි ම වැටී සිටින්නෝ ය.</verse>
				<verse number="48">
					එවිට ස්වර්ගය ද පොළොව ද එහි සිටින සියල්ලෝ ද බබිලෝනිය ගැන ප්‍රීතියෙන් ගී ගයන්නෝ ය.
					මන්ද, බබිලෝනිය විනාශ කරන්නට උතුරෙන් සතුරා පැමිණෙයි. ඈ අසුවන්නී ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
				</verse>
				<verse number="49">
					මරණයට පත් ඉශ්රායෙල් සෙනඟ නිසා බබිලෝනිය විපතට පත් වූවාක් මෙන්, මුළු පොළොවේ මරණයට පත් වූවන් බබිලෝනිය හමුවේ වැටෙනවා ඇත.”
				</verse>
				<verse number="50">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “කඩුවෙන් ගැළවුණු මාගේ සෙනඟෙනි, දැන් නැවතී නොසිට පලා යන්න. දුර දේශයන්හි නුඹලාගේ සමිඳාණන් සිහිකර ජෙරුසලම අමතක නොකරන්න.</verse>
				<verse number="51">‘අපි නින්දා බස් ඇසූ බැවින් ලජ්ජාවට පැමිණියෙමු. විදේශීන් සමිඳුන්ගේ මාලිගාවේ ශුද්ධස්ථානයට ඇතුළු වූ බැවින් අපි වියවුලට පත් වී සිටිමු’යි නුඹලා කියන්නහු ය.</verse>
				<verse number="52">එබැවින් මා බබිලෝනියේ දේව රූපවලට දඬුවම් කරන දවස් පැමිණෙන්නේ ය. ‘දේශය මුළුල්ලෙහි තුවාළ ලැබූ අය කෙඳිරිගානු ඇතැ’යි මම කියමි.</verse>
				<verse number="53">බබිලෝනිය අහස උසට නැගුණත්, එහි ශක්තිමත් බලකොටු සාදාගත්තත් මා යවන විනාශකයන් ඈ කරා පැමිණෙනු ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”</verse>
				<verse number="54">“සවන් දෙන්න. බබිලෝනියෙන් මොරගැසීමේ ශබ්දයක්, කල්දිවරුන්ගේ ඒ දේශයෙන් මහත් විනාශයේ ශබ්දයක් ඇසෙයි.</verse>
				<verse number="55">සමිඳාණන් වහන්සේ බබිලෝනිය විනාශ කරන සේක. ඇගේ උස් කටහඬ නිශ්ශබ්ද කරන සේක. නඟින රළපතර මෙන් ඔවුන්ගේ ඝෝෂාව නැඟෙයි.</verse>
				<verse number="56">විනාශකාරයා බබිලෝනිය විනාශ කරන්නට පැමිණ සිටියි. බබිලෝනියේ හේවායන් අසු වී ඇත. ඔවුන්ගේ දුනු කඩා කැබලි කරනු ලැබී ය. සමිඳාණන් වහන්සේ නපුරට විපාකය දෙන දෙවියන් වහන්සේ ය. උන් වහන්සේ බබිලෝනියට යුතු ලෙස විපාක දෙන සේක.</verse>
				<verse number="57">මම ඇගේ අධිපතීන් ද ඇගේ ප්‍රඥාවන්තයන් ද ඇගේ ආණ්ඩුකාරයන් ද ඇගේ සේනාධිපතීන් ද ඇගේ හේවායන් ද මත් කරන්නෙමි. ඔව්හු ද නොපිබිදෙන හැටියට සදාකාල නින්දකට පැමිණෙන්නෝ ය. මෙසේ පවසන්නේ සව් බලැති සමිඳුන් වන රජාණන් වහන්සේ ය.</verse>
				<verse number="58">බබිලෝනියේ පළල් පවුරු සහමුලින් ම හෙළාදමනු ලබන්නේ ය. ඇගේ උස් දොරටු ද ගින්නෙන් දවනු ලබයි. සෙනඟගේ වෙහෙසීම් නිෂ්ඵල ය. ජාතීන්ගේ වීර්යයන් ගින්නෙන් දැවී ගොස් ඇත.”</verse>
				<verse number="59">මයසේයාගේ පුත් වූ නේරියාගේ පුත් වන සෙරායා ජුදාහි රජු වූ ශෙදෙකියාගේ රජ දවසේ සතර වන අවුරුද්දේ දී ඔහු සමඟ බබිලෝනියට යන විට දිවැසිවර ජෙරමියා සෙරායාට මේ ආඥාව දුන්නේ ය. සෙරායා වනාහි රජුගේ ගබඩා නිලමේ විය.</verse>
				<verse number="60">බබිලෝනියට පැමිණෙන සියලු විපත්ති ගැන ද බබිලෝනියට විරුද්ධ ව ලියා තිබෙන සියලු දේ ගැන ද ජෙරමියා පොතක ලිව්වේ ය.</verse>
				<verse number="61">ජෙරමියා සෙරායාට කතා කරමින්, “ඔබ බබිලෝනියට පැමිණි විට මේ සියලු වචන සෙනඟට ඇසෙන ලෙස කියවන්න.</verse>
				<verse number="62">මෙසේ යාච්ඤා කරන්න, ‘අහෝ සමිඳුනි, මේ ස්ථානයෙහි මිනිසෙකු වත්, මෘගයෙකු වත් නැති වන ලෙස ඔබ වහන්සේ මේ ස්ථානය විනාශ කරන සේක. එවිට එය සදහට ම මරුකතරක් වනු ඇත,’</verse>
				<verse number="63">තවද, ඔබ මේ පොත කියවා නිම වූ විට, එයට ගලක් බැඳ, යුප්‍රටීස් ගංගාව මැදට එය හෙළා,</verse>
				<verse number="64">‘බබිලෝනිය මෙසේ ම කිඳා බැස මා ඈ පිට පමුණුවන විපත්තියෙන් ගොඩ නොඑන්නී යැ’යි කියන්න.” ජෙරමියාගේ පණිවුඩය මෙතැනින් අවසන් වේ.</verse>
			</chapter>
			<chapter number="52">
				<verse number="1">ශෙදෙකියා විසිඑක් වයසේ දී රජකමට පැමිණ එකොළොස් අවුරුද්දක් ජෙරුසලමේ රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම හමුවල් ය. ඈ ලිබ්නාහි ජෙරමියාගේ දුව ය.</verse>
				<verse number="2">ශෙදෙකියා රජු, ජෙහෝයාකිම් රජු කළාක් මෙන් සමිඳාණන් වහන්සේ අබිමුවෙහි නපුරු දේ කෙළේ ය.</verse>
				<verse number="3">ජෙරුසලම හා ජුදාව සමිඳාණන් වහන්සේ බොහෝ සේ කෝප කළ බැවින් උන් වහන්සේ ඔවුන් තමන් අබිමුවෙන් පන්නා දැමූ සේක. ශෙදෙකියා ද බබිලෝනියාවේ රජුට විරුද්ධ ව කැරලි ගැසුවේ ය.</verse>
				<verse number="4">ඔහුගේ රාජ්‍ය කාලයේ නව වන අවුරුද්දේ දස වන මස දස වන දින බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් තමාගේ මුළු සේනාව සමඟ ජෙරුසලමට විරුද්ධ ව අවුත්, කඳවුරු බැඳ, එයට වටකරින් බලකොටු ද ගොඩනැඟුවේ ය.</verse>
				<verse number="5">එසේ ශෙදෙකියා රජුගේ එකොළොස් වන අවුරුද්ද දක්වා නගරය වටලන ලදුව තිබිණි.</verse>
				<verse number="6">හතර වන මස නව වන දින දේශයේ සෙනඟට කිසි ආහාරයක් නැති වන තරමට සාගතය නුවර තුළ බලවත් විය.</verse>
				<verse number="7">එවිට නගරයේ පවුරු බිඳිනු ලැබී ය. බබිලෝනිවරුන් නගරය වටලාගෙන සිටිය දී හේවායෝ සියලු දෙන රාත්‍රි කාලයේ ගැළවී යන්නට උත්සාහ කළෝ ය. ඔව්හු රජ උයන ළඟ පවුරු දෙකට අතරේ තිබෙන දොරටුවෙන් පිටත් වී අරබා සමභූමි මාර්ගයෙන් ජොර්දාන් මිටියාවත දෙසට පලා ගියෝ ය.</verse>
				<verse number="8">එහෙත්, බබිලෝනිවරුන්ගේ සේනාව ශෙදෙකියා රජු ලුහුබැඳ ගොස් ජෙරිකෝවේ සමභූමිවල දී ඔහු අල්ලාගත්තේ ය. එවිට ඔහුගේ මුළු සේනාව ඔහු වෙතින් විසිර ගියෝ ය.</verse>
				<verse number="9">එකල ඔව්හු රජු අල්ලාගෙන හමාත් දේශයේ රිබ්ලාහි සිටි බබිලෝනියේ රජු වෙත ගෙන ගියෝ ය. ඔහු ද ශෙදෙකියා රජු පිළිබඳ නඩු තීන්දුව දුන්නේ ය.</verse>
				<verse number="10">බබිලෝනියේ රජ ශෙදෙකියාගේ පුත්‍රයන් ඔහුගේ ම ඇස් ඉදිරිපිට මැරෙව්වේ ය. ඔහු ජුදාහි සියලු අධිපතීන් ද රිබ්ලාහි දී මැරෙව්වේ ය.</verse>
				<verse number="11">තවද බබිලෝනියේ රජ ශෙදෙකියාගේ ඇස් උගුලා, අතට විලංගු ලා, බබිලෝනියට ගෙන ගොස්, ඔහුගේ මරණය දක්වා ඔහු හිර ගෙයි දමා තැබී ය.</verse>
				<verse number="12">තවද, බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් රජුගේ දහනව වන අවුරුද්දේ පස් වන මස දස වන දින රජුගේ උපදේශකයා වූ ද රැකවලුන්ගේ අධිපතියා වූ ද නෙබුසරදාන් ජෙරුසලමට පිවිසියේ ය.</verse>
				<verse number="13">ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද රජ මාලිගාව ද ජෙරුසලමේ සියලු ගෙවල් ද ප්‍රභූවරුන්ගේ මන්දිර ද පුළුස්සාදැමුවේ ය.</verse>
				<verse number="14">හමුදාවේ සේනාධිපතියා සමඟ සිටි බබිලෝනිවරුන්ගේ මුළු සේනාව ජෙරුසලම හාත්පස තිබුණ පවුරු සියල්ල බිඳදැමුවෝ ය.</verse>
				<verse number="15">තවද, රැකවලුන්ගේ අධිපතියා වූ නෙබුසරදාන් ඉතා දිළිඳු සෙනඟගෙන් සමහරෙකු ද නගරයේ ඉතිරි ව සිටි සෙනඟ ද සැඟවී ගොස් බබිලෝනියේ රජුගේ පක්ෂයට බැඳුණු අය ද සෙසු දක්ෂ ශිල්පීන් ද අල්ලාගෙන ගියේ ය.</verse>
				<verse number="16">එහෙත්, මිදි වතු වවන්නටත්, ගොවිතැන් කරන්නටත් රැකවල් සේනාධිපතියා වූ නෙබුසරදාන් දේශයේ දිළිඳුන් සමහරෙකු ඉතිරි කර ගියේ ය.</verse>
				<verse number="17">තවද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට අයිති ලෝකඩ කුළුණු ද එහි තිබුණු මැසි ද මහ ලෝකඩ භාජනය ද කඩාදමා, බබිලෝනිවරු ඒවායේ ලෝකඩ සියල්ල ම බබිලෝනියට ගෙන ගියෝ ය.</verse>
				<verse number="18">ඇරත්, ඇතිළි ද හැඳි ද පහන් කතුරු ද තලි ද දුම් භාජන ද පූජාව සඳහා පාවිච්චි කළ ලෝකඩ බඩු සියල්ල ද ඔව්හු ගෙන ගියෝ ය.</verse>
				<verse number="19">තලි, ගිනි භාජන, කුසලාන, ඇතිළි, පහන් රුක්, දුම් භාජන සහ කෙණ්ඩි යන රන් බඩුවල රන් ද රිදී බඩුවල රිදී ද හමුදාවේ සේනාධිපතියා ගෙන ගියේ ය.</verse>
				<verse number="20">සලමොන් රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට සෑදූ කුළුණු දෙක ද ලෝකඩ තටාකය ද මැසි ද මැසි යට තිබුණු ලෝකඩ ගව රූප දොළොස ද යන භාණ්ඩ වල ලෝකඩ කිරන්නට බැරි තරම් බර ය.</verse>
				<verse number="21">ඒ එක් එක් කුළුණේ උස මීටර් අටකි. ඒ වටේට මීටර් පහයි දශම තුනක පටියක් තිබුණේ ය. එහි ඝනකම මිලි මීටර් හැත්තෑපහක් ය. එහි ඇතුළ කුහරයක් විය.</verse>
				<verse number="22">එය මත ලෝකඩ පේකඩයක් විය. එක එක පේකඩය මීටර් දෙකයි දශම දෙකක් උස විය. පේකඩය වටේට දෙළුම් ගෙඩිවලින් සරසන ලද කැටයම් රාමුවක් තිබුණේ ය. ඒ සියල්ල කරන ලද්දේ ලෝකඩින් ය. දෙ වන කුළුණත් ඒ අයුරින් ම දෙළුම් ගෙඩිවලින් සරසන ලදී.</verse>
				<verse number="23">දෙළුම් ගෙඩි අනූහයක් පැතිවල තිබිණි. කැටයම් පිට වටේට තිබුණු දෙළුම් ගෙඩි සියයක් විය.</verse>
				<verse number="24">තවද, රැකවල් සේනාවේ අධිපතියා, උත්තම පූජකයා වූ සෙරායා ද දෙ වන පූජකයා වූ ශෙපනියා ද දොරටු පාලකයන් තුන් දෙනා ද අල්ලාගත්තේ ය.</verse>
				<verse number="25">ඉක්බිති ඔහු යුද්ධ සේනාවේ සේනාධිපතියා ද නගරයෙහි සිටි රාජ සභාවෙහි සභිකයන් සත්දෙනෙකු ද දේශයෙහි සෙනඟ රැස් කළ සේනාධිපතියාගේ ලේකම් ද දේශවාසීන්ගෙන් නගරය තුළ සිටි හැටදෙනෙකු ද අල්ලාගෙන ගියේ ය.</verse>
				<verse number="26">රැකවලුන්ට අධිපතියා වූ නෙබුසරදාන් මොවුන් රිබ්ලාහි සිටි බබිලෝනියේ රජු වෙත ගෙන ගියේ ය.</verse>
				<verse number="27">බබිලෝනියේ රජ හමාත් දේශයේ රිබ්ලාහි දී ඔවුන්ට පහර දී ඔවුන් මැරෙව්වේ ය. මෙසේ ජුදාවරු සිය දේශයෙන් වහල්කමට ගෙන යන ලදහ.</verse>
				<verse number="28">නෙබුකද්නෙශර් අල්ලාගෙන ගිය සෙනඟගේ ගණන මෙසේ ය: හත් වන අවුරුද්දේ දී ජුදෙව්වරු තුන්දහස් විසිතුන්දෙනෙකි.</verse>
				<verse number="29">නෙබුකද්නෙශර්ගේ දහඅට වන අවුරුද්දේ දී, ඔහු ජෙරුසලමේ සිටි අටසිය තිස්දෙදෙනෙකු අල්ලාගෙන ගියේ ය.</verse>
				<verse number="30">එනෙබුකද්නෙශර්ගේ විසිතුන් වන අවුරුද්දේ දී රැකවල් සේනාධිපතියා වූ නෙබුසරදාන් ජුදෙව්වරුන් හත්සිය හතළිස්පස්දෙනෙකු අල්ලාගෙන ගියේ ය. ඒ සියල්ලෝ ම හාරදහස් හයසියයක් වූ හ.</verse>
				<verse number="31">තවද, එවිල්-මෙරොදක් බබිලෝනියේ රජකමට පත් වූ අවුරුද්දේ දී ඔහු ජුදාහි රජු වූ ජෙහෝයාකින්ට අනුකම්පා කොට හිරගෙයින් නිදහස් කෙළේ ය. මෙය සිදු වූයේ ජුදාහි රජු වූ ජෙහෝයාකින් ගෙනයනු ලැබූ තිස්හත් වන අවුරුද්දේ දොළොස් වන මාසයේ විසිපස් වන දා ය.</verse>
				<verse number="32">එවිල්-මෙරොදක් රජ ජෙහෝයාකින්ට කරුණාවෙන් කතා කොට, බබිලෝනියේ ඔහු සමඟ සිටි රජවරුන්ට වඩා උසස් ස්ථානයක් ඔහුට දුන්නේ ය.</verse>
				<verse number="33">එබැවින් ජෙහෝයාකින්ට ඔහුගේ හිරඇඳුම් මාරුකරගෙන, ඔහුගේ ජීවිතාන්තය දක්වා, එවිල්-මෙරොදක් රජු සමඟ නිතර ම මේසයේ එකට කන්නට අවසර ලැබුණේ ය.</verse>
				<verse number="34">ඔහුගේ කෑම කොටස බබිලෝනියේ රජු වෙතින් නියම ලෙස දවස් පතා ම ජීවිතයේ මුළු කාලය තුළ ඔහුගේ මරණය දක්වා ඔහුට දෙන ලද්දේ ය.</verse>
			</chapter>
		</book>
		<book number="25">
			<chapter number="1">
				<verse number="1">සෙනඟගෙන් පිරී තිබුණ නුවර දැන් පාළු වී තිබෙන හැටි! ජාතීන් අතර උතුම් වී සිටි ඈ කණවැන්දුමියක මෙන් වී දේශාධිපතිනියක් වූ ඇය දාසියක් වී සිටින හැටි!</verse>
				<verse number="2">ඈ රාත්‍රියෙහි අතිශයෙන් වැලපෙයි. කඳුළු ඇගේ දෙකපොල දිගේ ගලා යයි, ඇගේ පෙම්වතුන් අතර ඇය සනසන්නට කිසිවෙක් නැත. ඇගේ සියලු මිතුරෝ ද්‍රෝහිකම් කර, ඇගේ සතුරන් වී සිටිති.</verse>
				<verse number="3">පීඩාව නිසා ද අධික දාසකම නිසා ද ජුදා විප්‍රවාසයට ගොස් ඇත. ඈ විජාතීන් අතර දැන් වාසය කරයි. එහි ඈ කිසි සහනයක් නොලබයි. ඈ ලුහුබැඳ ගිය හැම දෙන ඇගේ විපතේ දී ඈ අසු කරගත්හ.</verse>
				<verse number="4">මංගල්‍ය රැස්වීමට එන කෙනෙකු නැති බැවින් සියොන් වැසියෝ වැලපෙන්නාහ. ඇගේ සියලු දොරටු පාළු වී තිබේ. ඇගේ පූජකයෝ සුසුම්ලති. ඇගේ කාන්තාවෝ ශෝකයෙන් පෙළෙති. ඈ බොහෝ සේ දුක් විඳියි.</verse>
				<verse number="5">ඇගේ එදිරිකාරයෝ දැන් ඇගේ ස්වාමිවරුන් වී සිටිති. ඇගේ සතුරෝ සෞභාග්‍යය භුක්ති විඳිති. එසේ වූයේ, ඇගේ අපරාධ රාශිය නිසා සමිඳාණන් ඈට පීඩා කළ බැවිනි. පීඩා කරන්නා විසින් පලවා හරිනු ලැබූ ඇගේ දරුවන් ඈ අත්හැර ගොස් ඇත.</verse>
				<verse number="6">සියොන් පුරඟනගේ මුළු මහිම‍ශ්‍රීය ඇගෙන් පහ ව ගොස් ඇත. ඇගේ අධිපතීහු ගොදුරු නැති මුවන්ට සමාන ය. ලුහුබැඳ එන්නා කෙරෙන් පලා යමින් ඔවුහු බෙලහීන වී සිටිති.</verse>
				<verse number="7">ජෙරුසලම ඇගේ පීඩා සහ දුක් දවස්වල දී පෙර කල පටන් ඈට තිබුණු ඇගේ සියලු ප්‍රිය දේ සිහි කරයි. ඈට උපකාර කරන්නෙකු නැති ව, ඇගේ සෙනඟ සතුරාගේ අතට අසු වූ විට, උදව් කරන්න කිසිවෙක් නො වී ය. සතුරෝ ඈ දෙස බලා, ඇගේ වැටීම ගැන ඈට සරදම් කළෝ ය.</verse>
				<verse number="8">ජෙරුසලම බලවත් ලෙස පව් කළ බැවින් ඈ අපිරිසිදු වී සිටින්නී ය. ඈට ගෞරව කළ සියල්ලෝ ම ඇගේ නග්නකම දුටු නිසා ඈ හෙළා දකිති. එසේ ය, ඈ සුසුම් ලා ඇගේ මුහුණ අන් අතකට හරවාගනියි.</verse>
				<verse number="9">ඇගේ අපවිත්‍රකම ඇගේ වස්ත්‍ර පිට තිබුණේ ය, තමාගේ ඉරණම ගැන ඈ කිසි දා නොසිතුවා ය. ඇගේ වැටීම භයංකර ය. ඈට සැනසිලිකාරයෙක් නැත. සමිඳුනි, මාගේ දුක බැලුව මැනව. මන්ද, සතුරා ජය ගෙන ඇත.</verse>
				<verse number="10">ඇගේ එදිරිකාරයා සිය අත පාමින්, ඇගේ සියලු වස්තුව පැහැරගෙන ඇත. සභාවට පිවිසීමට ඔබ තහනම් කළ විදේශීන් ශුද්ධස්ථානයට ඇතුළු වී ඇත.</verse>
				<verse number="11">ඇගේ මුළු සෙනඟ කෑම සොයමින් සුසුම්ලති. පණ රැකගන්න පිණිස ඔව්හු ආහාර වෙනුවට තමන්ගේ වටිනා දේ දුන්නෝ ය. සමිඳුනි, මා නීච වී සිටින බව බලා මා සැලකුව මැනව.</verse>
				<verse number="12">අනේ! මේ මඟ යන සියල්ලෙනි, නෙත් යොමා බලන්න. සමිඳුන්ගේ උදහස ඇවිළී ගිය දවසේ දී එතුමාණන් මට පහර දීමේ දී මට ඇති වූ දුක තරම් දුකක් තවත් ඇද් ද?</verse>
				<verse number="13">එතුමාණෝ මාගේ ඇටකටු තුළට ඉහළින් ගින්නක් එවූ සේක. එතුමාණෝ මාගේ පාදවලට දැලක් දැමූ සේක. මා පහතට හෙළූ සේක. මා තනිවන්න සලසා, දවස මුළුල්ලේ බෙලහීනයෙකු ද කළ සේක.</verse>
				<verse number="14">මාගේ අපරාධ වියගහක් මෙන් මා පිට බර ව තිබේ. එතුමාණෝ ම මාගේ ගෙල පිට එය තැබූ සේක. ඒ නිසා, මාගේ ශක්තිය හීන විය. විරුද්ධ ව සිටින්න මට බැරි ලෙස සමිඳාණෝ සතුරන් අතට මා පාවා දුන් සේක.</verse>
				<verse number="15">මට සිටි මාගේ සියලු බලවත් සෙබළුන් සමිඳාණෝ හෙළාදැමූ සේක. මාගේ යෞවනයන් වනසන පිණිස එතුමාණෝ මට විරුද්ධ ව සේනාවක් කැඳවූ සේක. මිදි යන්ත්‍රයක මිදි පොඩි කරන්නාක් මෙන් සමිඳාණෝ ජුදා සෙනඟ පොඩි කරදැමූ සේක.</verse>
				<verse number="16">මේ දේවල් නිසා මම හඬමි, මාගේ ඇසින්, එසේ ය, මාගේ ඇසින් කඳුළු ගලා යයි. මන්ද, මා ප්‍රාණවත් කළ හැකි, මා සැනසිය හැකි කිසිවෙක් ළඟ නැත. සතුරා ජය ගත් බැවින් මාගේ දරුවෝ අසරණ ව සිටිති.</verse>
				<verse number="17">සියොන් ඇගේ දෑත විදහාගෙන සිටියි. ඈ සනසන්නට එහි කිසිවෙක් නැත. ජාකොබ් අවට සිටින්නන් ඔහුගේ සතුරන් වන ලෙස සමිඳාණෝ ඔවුන් දස’තින් කැඳෙවු සේක. ජාතීන් අතර ජෙරුසලම පිළිකුලක් වී ඇත.</verse>
				<verse number="18">සමිඳාණෝ දැහැමි ය; එතුමන්ගේ අණසකට එරෙහි ව කැරලි ගැසුවේ මම ය. අනේ! සියලු ජාතිනි, සවන් දී මාගේ දුක බලන්න. මාගේ කන්‍යාවන් ද මාගේ තරුණයන් ද වහල්කමට ගෙන ගොස් ඇත.</verse>
				<verse number="19">මාගේ පෙම්වතුන්ට අඬගැසීමි, එහෙත්, ඔව්හු මා රැවටුවෝ ය. මාගේ පූජකයෝ ද මාගේ නායකයෝ ද තමන්ගේ ප්‍රාණ රැකගන්න පිණිස තමන්ට කෑම සොයන අතර නුවර තුළ නැසී ගියෝ ය.</verse>
				<verse number="20">සමිඳුනි, බැලුව මැනව. මම විපතට පත් ව සිටිමි. මාගේ සිත කැළඹී තිබේ. මාගේ හදවත දෙදරා ගොස් තිබේ. මම බලවත් ලෙස කැරලි ගැසීමි. පිටත දී මාගේ දරුවෝ කඩුවෙන් නැසී ගියෝ ය. ඇතුළත ද මරණය ඇත්තේ ය.</verse>
				<verse number="21">මා සුසුම්ලන රඟ ඇසුව මැනව. මා සනසන්න කිසිවෙක් නැත. මාගේ සියලු සතුරෝ මාගේ විපත්තිය ගැන ඇසුවෝ ය. ඔබ එය කළ නිසා ඔව්හු සතුටු වෙති. ඔබ ප්‍රකාශ කළ දවස පැමිණෙව්ව මැනව. එවිට ඔව්හු ද මා හා සමාන වන්නෝ ය.</verse>
				<verse number="22">ඔවුන්ගේ සියලු දුෂ්ටකම් ඔබ ඉදිරියට පැමිණේ වා! මාගේ සියලු අපරාධ නිසා ඔබ මට කළාක් මෙන් ඔවුන්ටත් කළ මැනව. මන්ද, මාගේ සුසුම්ලෑම් බොහෝ ය; මාගේ සිත ද ක්ලාන්ත වී තිබේ. මම කලකිරී සිටිමි.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">සමිඳාණන් සිය උදහසින් සියොන් පුරඟන පිට අඳුර ගෙනා හැටි! එතුමාණෝ ඉශ්රායෙල්ගේ තේජෝමහිමය ස්වර්ගයෙන් පොළොවට හෙඵෑ සේක. තමන් උදහස් දවසේ දී සියොන් තමන් පාපුටුව බව සිහි නොකළ සේක.</verse>
				<verse number="2">සමිඳාණෝ කිසි අනුකම්පාවක් නැති ව, ජාකොබ්ගේ සියලු නිවෙස් විනාශ කළ සේක. එතුමාණෝ සිය කෝපයෙන් ජුදා රටේ බලකොටු බිඳ හෙඵෑ සේක. ඒවා බිමට ම දැමූ සේක. එතුමාණෝ රාජ්‍යය පිට ද එහි අධිපතීන් පිට ද නින්දාව පැමිණෙවු සේක.</verse>
				<verse number="3">එතුමාණෝ නොනිවෙන උදහසින් ඉශ්රායෙල්ගේ බලය සහමුලින් ම සිඳදැමූ සේක. සතුරන් පැමිණි විට අපට උදව් නුදුන් සේක. වටකරින් නාස්ති කරන ඇවිලෙන ගින්නක් මෙන් එතුමාණෝ ජාකොබ් දවා ලූ සේක.</verse>
				<verse number="4">එතුමාණෝ සතුරෙකු මෙන් තමන් දුන්න තැත් කැවූ සේක. එදිරිකාරයෙකු මෙන් සිය දකුණ’ත ඔසවා, ඇසට ප්‍රිය වූ සියල්ලන් නැසූ සේක. සියොන් පුරඟනගේ කූඩාරමෙහි ගින්නක් මෙන් තමන් කෝපය දැල්වූ සේක.</verse>
				<verse number="5">සමිඳාණෝ සතුරෙකු මෙන් වූ සේක. ඉශ්රායෙල් නටබුන් ගොඩක් කළ සේක. එතුමාණෝ ඇගේ සියලු මාලිගා නටබුන් ගොඩක් කොට, ඇගේ බලකොටු විනාශ කළ සේක. ජුදා පුරඟන කෙරෙහි ශෝකය දෙගුණ තෙගුණ කළ සේක.</verse>
				<verse number="6">එතුමාණෝ තම මණ්ඩපය වත්තක් මෙන් පාළු කරදැමූ සේක. ස්වකීය රැස්වීම් ස්ථානය විනාශ කළ සේක. සමිඳාණෝ සියොන්හි මංගල්‍ය සහ සබත් දවස මතක නැති කරවූ සේක. තම බලවත් කෝපයෙන් රජු සහ පූජකයා ඉවත් කළ සේක.</verse>
				<verse number="7">සමිඳාණෝ තමන් පූජාසනය ප්‍රතික්ෂේප කළ සේක. තමන් ශුද්ධස්ථානය අත්හැරදැමූ සේක. ඇගේ මාලිගාවල පවුරු සතුරා අතට පවරා දුන් සේක. මංගල්‍ය දවසක දී මෙන් සමිඳාණන්ගේ මාලිගාවෙහි ඔව්හු ඝෝෂා කළෝ ය.</verse>
				<verse number="8">සමිඳාණෝ සියොන් පුරඟනගේ පවුර නාස්ති කරන්න අදහස් කළ සේක. ලණුවක් ඇද එය මැන්න සේක. එය සහමුලින් ම කඩාදමන තුරු සිය’ත ඉවත් නොකළ සේක. එතුමාණෝ එහි කොටු තාප්පය සහ පවුර පිට වැලපීම ඇති කළ සේක. ඒවා එකට ගරා වැටී ඇත.</verse>
				<verse number="9">ඇගේ දොරටු පොළොවට කිඳා බැස ඇත. එතුමාණෝ ඇගේ අගුල් නාස්තිකර කඩාදැමූ සේක. ඇගේ රජ ද අධිපතීහු ද ජාතීන් අතරේ සිටිති. ව්‍යවස්ථාවක් දැන් නැත. එසේ ය, ඇගේ දිවැසිවරු සමිඳුන්ගෙන් දර්ශනයක් තවත් නොලබති.</verse>
				<verse number="10">සියොන් පුරඟනගේ මහලු අය හිඳගෙන නිශ්ශබ්ද ව සිටිති. ඔව්හු තමන්ගේ හිස් පිට ධූලි දමාගෙන, ගෝණි රෙදි ඇඳගෙන සිටිති. ජෙරුසලමේ කන්‍යාවෝ තමන්ගේ හිස බිමට නමාගෙන හිඳිති.</verse>
				<verse number="11">මාගේ සෙනඟගේ විනාශය නිසා මාගේ ඇස්, කඳුළු වැගිරීමෙන් වෙහෙසට ද, ළමයින් ද කිරි දරුවන් ද නුවර වීදිවල ක්ලාන්ත වන බැවින් මාගේ සිත ශෝකයෙන් ඇලළී ගොස් ඇත.</verse>
				<verse number="12">තුවාළ වූවන් මෙන් නුවර වීදිවල ඔවුන් ක්ලාන්ත වන විට, තමන්ගේ මවුවරුන්ගේ ළයෙහි පණ අදින විට, ‘ධාන්‍ය සහ මිදියුස කොයි දැ’යි ඔව්හු තම මවුවරුන්ගෙන් කෑගසා අසති.</verse>
				<verse number="13">ජෙරුසලම් පුරඟන, මම ඔබට කුමක් කියම් ද? ඔබ කුමකට සමාන කරම් ද? අනේ සියොන් කන්‍යා පුරඟන, මම ඔබ සනසන පිණිස ඔබට කුමක් කරම් ද? ඔබේ විපත මුහුද මෙන් විශාල ය; ඔබට සුවය දෙන්නේ කවරෙක් ද?</verse>
				<verse number="14">ඔබේ දිවැසිවරු බොරු නිෂ්ඵල දර්ශන ඔබට දැක්වූ හ; ඔව්හු ඔබේ වහල්කම පහ කිරීමට ඔබේ අපරාධ කිසි දා එළිදරව් නොකළහ. ඔබ උදෙසා ඔවුන් දුටු දර්ශන බොරු ය, රැවටිලි සහිත ය, වංචනික ය.</verse>
				<verse number="15">මඟ යන සියල්ලෝ නුවර හෙළා දකිති. ඔව්හු සියුරුහන් බාමින් ජෙරුසලම් පුරඟනට විරුද්ධ ව හිස් වනමින්, “ ‘ලෝකයේ අභිමානය ය; මුළු පොළොවේ ප්‍රීතිය ය’යි කියනු ලැබූ නුවර මෙය දැ”යි අසති.</verse>
				<verse number="16">ඔබේ සියලු සතුරෝ ඔබට සරදම් කරති. ඔව්හු සියුරුහන් බාමින්, දත්මිටි කති. “අපි ඈ විනාශ කෙළෙමු; සැබැවින් ම අප බලා සිටි දවස මේ ය; එය දැන් පැමිණ ඇතැ”යි කියති.</verse>
				<verse number="17">සමිඳාණෝ තමන් යෝජනා කළ දේ ඉටු කළ සේක. එතුමාණෝ පුරාණයේ සිට නියම කර තිබුණු තර්ජන ක්‍රියාත්මක කළ සේක. එතුමාණෝ අනුකම්පා විරහිත ව ඔබ විනාශ කළ සේක. සතුරා ඔබට විරුද්ධ ව සන්තෝෂ වන්න සලස්වා, ඔබේ එදිරිකාරයන්ගේ බලය වැඩි කළ සේක.</verse>
				<verse number="18">අනේ සියොන් පුරඟන, සමිඳුන්ට මොරගසන්න; මහා ප්‍රවාහයක් සේ රෑ දාවල් දෙක්හි කඳුළු ගලා යා වා! ඔබට කිසි සහනයක් නොලැබේ වා! ඔබේ දෙනෙතට විවේකයක් නො වේ වා!</verse>
				<verse number="19">රෑ යාම්වල නැඟිට උදේ අලුයම ඝෝෂා කරන්න. ඔබේ සිත සමිඳුන් ඉදිරිපිට ජලය මෙන් වගුරුවන්න. සියලු වීදි සන්ධිවල දී බඩගින්නෙන් ක්ලාන්ත වන ඔබේ ළමයින්ගේ ප්‍රාණ උදෙසා ඔබේ අත් එතුමාණන් දෙසට ඔසවන්න.</verse>
				<verse number="20">සමිඳුනි, ඔබ මෙසේ කෙළේ කවරෙකුට දැ යි බලා කල්පනා කළ මැනව. ස්ත්‍රීන් තමන් කුසෙහි ඵලය වන, සුව සේ ප්‍රසූත කළ අත දරුවන් කෑ යුතු ද? පූජකයා සහ දිවැසිවරයා සමිඳුන්ගේ ශුද්ධස්ථානයේ මරනු ලැබිය යුතු ද?</verse>
				<verse number="21">බාලයා ද මහල්ලා ද වීදිවල බිම වැතිර සිටිති; මාගේ තරුණ තරුණියෝ කඩු පහරින් වැටුණෝ ය. ඔබේ උදහසේ දවසේ දී ඔබ ඔවුන් නැසූ සේක; නිර්දය ලෙස ඔවුන් ඝාතනය කළ සේක.</verse>
				<verse number="22">මංගල්‍යයකට සෙනඟ රැස් කරන්නාක් මෙන් මට විරුද්ධ ව හැම අතින් ම සතුරන් රැස් කළ සේක. සමිඳුන්ගේ උදහසේ දවසේ දී කිසිවෙක් ගැළවී ඉතිරි නො වී ය. මා සුව සේ උපදවා, ඇතිදැඩි කළ සියලු දෙන සතුරන් විසින් විනාශ කරනු ලැබූ හ.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">එතුමන්ගේ කෝපය නමැති දණ්ඩෙන් දුක අත්දුටු මිනිසා නම් මම ය.</verse>
				<verse number="2">එතුමාණන් මා ගෙන ගොස් එළියෙහි නොව අන්ධකාරයෙහි ඇවිදින්නට සැලැසූ සේක.</verse>
				<verse number="3">සැබැවින් ම එතුමාණෝ දවස මුළුල්ලේ මට යළි යළි නිර්දය ලෙස පහර දුන් සේක.</verse>
				<verse number="4">එතුමාණෝ මාගේ මාංසයත්, හමත් ජරාවට පමුණුවා මාගේ ඇටකටු පොඩි කළ සේක.</verse>
				<verse number="5">එතුමාණෝ මට වියගහක් සාදා විඩාවෙන් මාගේ හිස වට කළ සේක.</verse>
				<verse number="6">පුරාණයෙහි නැසී ගියවුන් මෙන් එතුමාණෝ අඳුරු තැන්වල විසීමට මට සැලැසූ සේක.</verse>
				<verse number="7">බේරී යන්න බැරි වන ලෙස එතුමාණෝ මා කොටු කළ සේක. බර විලංගු මට දැමූ සේක.</verse>
				<verse number="8">මා කෑගසා පිහිට ඉල්ලන නමුත්, එතුමාණෝ මාගේ යැදුමට සවන් නොදෙන සේක.</verse>
				<verse number="9">එතුමාණෝ මාගේ මාර්ග කැපූ ගල්වලින් අහුරා මාගේ මාවත් අවහිර කළ සේක.</verse>
				<verse number="10">එතුමාණෝ මා හට, මඟ රැක සිටින වලසෙකු ද රහස් තැන්වල සැඟවී සිටින සිංහයෙකු ද මෙන් වන සේක.</verse>
				<verse number="11">එතුමාණෝ මාගේ මාර්ගයෙන් මා ඉවත් කොට මා කෑලිවලට ඉරාදැමූ සේක. මා පිළිකුලක් කළ සේක.</verse>
				<verse number="12">එතුමාණෝ තම දුන්න තැත් කවා, ඊගසට ඉලක්කයක් කොට මා තැබූ සේක.</verse>
				<verse number="13">එතුමාණෝ තම කොපුවේ ඊගස් මාගේ හදවතට විද්ද සේක.</verse>
				<verse number="14">මම මාගේ මුළු සෙනඟට හිනාවක් ද දවස මුළුල්ලේ ඔවුන්ට කවටකමක් ද වී සිටිමි.</verse>
				<verse number="15">එතුමාණෝ තිත්ත වේදනාවෙන් මා පුරවා මට කොසඹ පෙවූ සේක.</verse>
				<verse number="16">එතුමාණෝ බොරළුවලින් මාගේ දත් බින්ද සේක; කෑම සඳහා මට අළු දුන් සේක.</verse>
				<verse number="17">සාමය මාගෙන් තුරන් වී ඇත. සැපත යනු කුමක් දැ යි මට අමතක වී ඇත.</verse>
				<verse number="18">දැන් මම මෙසේ කියමි: “මාගේ ශක්තිය පහ වී ගොස් ඇත. සමිඳුන් කෙරෙහි මාගේ බලාපොරොත්තුව තුරන් වී ඇත.”</verse>
				<verse number="19">මාගේ ශෝකයත්, මාගේ පීඩාවත් මට සිහි වීම කොසඹ හා වස දිය වැනි ය.</verse>
				<verse number="20">මම ඒ ගැන නිතර ම සිහි කරමි; මාගේ සිත අධෛර්යයට පත් වී ඇත.</verse>
				<verse number="21">එහෙත්, මේ දේ මා සිහි කළ විට බලාපොරොත්තුව මට ඇති වන්නේ ය.</verse>
				<verse number="22">“සමිඳුන්ගේ තිර පෙම කිසි කලෙක පහ නොවන්නේ ය; එතුමන්ගේ දයාව කෙළවර නොවන්නේ ය.</verse>
				<verse number="23">ඒවා උදයෙන් උදය අලුත් වී තිබේ; ඔබේ විශ්වාසවන්තකම ඉමහත් ය.”</verse>
				<verse number="24">මට ඇත්තේ සමිඳාණෝ පමණකැ යි මාගේ සිත කියයි. එබැවින් එතුමාණන් කෙරෙහි මම බලාපොරොත්තු වන්නෙමි.</verse>
				<verse number="25">සමිඳාණන් ගැන බලා සිටින්නන්ටත්, එතුමාණන් සොයා යන අයටත් එතුමාණෝ යහපත් ය.</verse>
				<verse number="26">සමිඳුන්ගෙන් වන ගැළවීම නිශ්චල ව බලා සිටීම මිනිසාට හොඳ ය.</verse>
				<verse number="27">තමාගේ බාල වියෙහි දී ඉවසීම නමැති වියගහ දැරීම මිනිසාට යහපත් ය.</verse>
				<verse number="28">එතුමාණන් එය ඔහු පිට තැබූ නිසා ඔහු තනියම හිඳ නිශ්ශබ්ද ව සිටී වා!</verse>
				<verse number="29">සමහර විට බලාපොරොත්තුවක් තිබිය හැකි බැවින් අප නැමී අවනත විය යුතු යි.</verse>
				<verse number="30">ඔහු තමාට පහර දෙන අයට කම්මුල පෑවා වේ! නින්දාවෙන් පිරුණා වේ!</verse>
				<verse number="31">මන්ද, සමිඳාණන් සදහට ම සිය සේවකයන් ඉවත දමන්නේ නැත.</verse>
				<verse number="32">එතුමාණන් ශෝකය පමුණුවන නමුත්, තමන්ගේ ඉමහත් කරුණාව ලෙස අනුකම්පා ද කරන සේක.</verse>
				<verse number="33">මන්ද, එතුමාණෝ මිනිසුන්ට ඕනෑකමින් පීඩා නොකරන සේක. ඔවුන් ශෝකයට නොපමුණුවන සේක.</verse>
				<verse number="34">දේශයේ සෑම හිරකාරයන් තළා පෙළා පොඩි කිරීම ද</verse>
				<verse number="35">මහෝත්තමයාණන්ගේ මුහුණ ඉදිරියේ දී මිනිසුන්ගේ යුක්තිය පෙරළාදැමීම ද</verse>
				<verse number="36">මිනිසෙකුට ඔහුගේ නඩුවේ දී අයුක්තිය කිරීම ද සමිඳාණෝ අනුමත නොකරන සේක.</verse>
				<verse number="37">සමිඳාණෝ කැමැති නොවන සේක් නම්, කිසිවෙකුට කිසිවක් නොකළ හැකි ය.</verse>
				<verse number="38">සැපතත් විපතත් ඇති වන්නේ, මහෝත්තමයාණන්ගේ නියමයෙන් නොවේ ද?</verse>
				<verse number="39">අපේ පව් ගැන දඬුවම ලබන නිසා අප කොඳුරන්නේ කුමට ද?</verse>
				<verse number="40">අපේ මාර්ග සෝදිසි කර විමසා සමිඳාණන් වෙත නැවත හැරෙමු.</verse>
				<verse number="41">ස්වර්ගයෙහි සිටින දෙවිඳාණන් වෙත අපේ අතත් සිතත් ඔසවමු.</verse>
				<verse number="42">“අපි වනාහි වරද කොට කැරලි ගැසීමු; ඔබ කමා නොකළ සේක.</verse>
				<verse number="43">ඔබ වහන්සේ උදහසින් සැඟවී සිට අප පසුපස ලුහුබැඳ ආ සේක. අනුකම්පා නොකොට අප මරාදැමූ සේක.</verse>
				<verse number="44">අපේ යැදුම ඔබ වෙත නොපැමිණෙන ලෙස ඔබ වලාකුළකින් ඔබ ම වසාගෙන සිටින සේක.</verse>
				<verse number="45">ඔබ විජාතීන් අතරෙහි අප කසළ ගොඩක් මෙන් කළ සේක.</verse>
				<verse number="46">අපේ සියලු සතුරෝ අපට විරුද්ධ ව බොහෝ සේ දොස් කී හ.</verse>
				<verse number="47">භීතිය සහ පාතාලයත්, නාස්තිය සහ විනාශයත් අපට පැමිණ තිබේ.</verse>
				<verse number="48">මාගේ සෙනඟගේ විනාශය නිසා මාගේ ඇස්වලින් කඳුළු ගංගා ගලා යයි.</verse>
				<verse number="49">සමිඳාණන් ස්වර්ගයේ සිට බලා සලකන තුරු,</verse>
				<verse number="50">මාගේ ඇස්වලින් නොනැවතී කඳුළු වැගිරෙයි.</verse>
				<verse number="51">නගරයේ කාන්තාවන්ට සිදු වී ඇති දේ මා දකින විට මාගේ සිත කම්පා වෙයි.</verse>
				<verse number="52">නිකරුණේ මට සතුරු ව සිටින අය කුරුල්ලෙකු මෙන් මා උගුලට අසු කරගත්හ.</verse>
				<verse number="53">ඔව්හු පණපිටින් මා වළට හෙළාදමා මා පිට ගල් ද පැටවූ හ.</verse>
				<verse number="54">වතුර මාගේ හිසට උඩින් ගලා ගියේ ය; “මාගේ අවසානය පැමිණ ඇතැ”යි මම කීමි.</verse>
				<verse number="55">සමිඳුනි, මම ගැඹුරු පාතාලයේ සිට ඔබේ නාමය කියා යැදිමි.</verse>
				<verse number="56">මාගේ මොරගැසීමට සවන් දෙන ලෙස මා බැගෑපත් ව ඉල්ලා සිටි විට ඔබ මට සවන් දුන් සේක.</verse>
				<verse number="57">මා ඔබට යාච්ඤා කළ විට, ඔබ මට ළං වී, “බිය නොවන්නැ”යි මට වදාළ සේක.</verse>
				<verse number="58">සමිඳුනි, ඔබ මා වෙනුවෙන් කරුණු වදාළ සේක. මාගේ ප්‍රාණය මිදූ සේක.</verse>
				<verse number="59">සමිඳුනි, ඔබ මාගේ පීඩාව දුටු සේක; මට යුක්තිය ඉටු කර දුන මැනව.</verse>
				<verse number="60">ඔවුන්ගේ සියලු ම පළිගැනීම් සහ මට විරුද්ධ ව තිබෙන ඔවුන්ගේ සියලු උපා ඔබ දුටු සේක.</verse>
				<verse number="61">සමිඳුනි, ඔවුන්ගේ නින්දා කිරීම සහ මට විරුද්ධ ව තිබෙන ඔවුන්ගේ සියලු උපා ඔබ ඇසූ සේක.</verse>
				<verse number="62">මට විරුද්ධ ව නඟන වචන ද දවස මුළුල්ලේ මට විරුද්ධ ව යොදන ඔවුන්ගේ උපායයන් ද ඔබ ඇසූ සේක.</verse>
				<verse number="63">ඔවුන් වාඩි වී සිටියත්, සිටගෙන සිටියත් ඔවුන්ගේ උපහාසයට මම ලක් වී සිටිමි.</verse>
				<verse number="64">සමිඳුනි, ඔවුන්ගේ ක්‍රියා අනුව ඔබ ඔවුන්ට විපාක දුන මැනව.</verse>
				<verse number="65">සිත් දැඩිකම වන සාපය ඔබ ඔවුන්ට දුන මැනව.</verse>
				<verse number="66">ඔබ, උදහසින් ඔවුන් ලුහුබැඳ ගොස්, මිහි පිටින් ඔවුන් අතුගාදැමුව මැනව.”</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">පරණ රත්රන් අඳුරු වී තිබෙන හැටි! පෙරූ රත්රන් වෙනස් වී තිබෙන හැටි! ශුද්ධස්ථානයේ ගල් සියලු මංසන්ධිවල විසුරුවා තිබේ.</verse>
				<verse number="2">අගනා රන් මෙන් වටිනා සියොන්හි තරුණයන් කුම්භකාරයාගේ අත්වලින් සාදන ලද භාජන මෙන් සලකනු ලබන හැටි!</verse>
				<verse number="3">සිවල් දෙන්නු පවා උන්ගේ පැටවුන්ට කිරි පොවති. එහෙත්, මාගේ සෙනඟගේ දූවරු කාන්තාරයේ පැස්බරුන් මෙන් කෲර වී සිටිති.</verse>
				<verse number="4">කිරි දරුවාගේ දිව පිපාසය නිසා තල්ලේ ඇලෙයි. කුඩා දරුවෝ කෑම ඉල්ලති, කිසිවෙක් ඔවුන්ට කෑම නොදෙති.</verse>
				<verse number="5">රස කෑම කෑ අය අසරණ ව වීදිවල හිඳිති. රතු ඇතිරිලි පිට ඇතිදැඩි වූ අය කසළ ගොඩවල් වැළඳගෙන හිඳිති.</verse>
				<verse number="6">
					කිසිවෙකුගෙන් පහර නොලබා ඇසිල්ලකින් මෙන් විනාශ වූ සොදොම් නගරයේ පාපයට වඩා මාගේ සෙනඟගේ අයුතුකම් මහත් ය.
				</verse>
				<verse number="7">ඇගේ වංශාධිපතීහු හිමවලට වඩා පිරිසිදු ව, කිරිවලට වඩා සුදු ව සිටියෝ ය. රතු කැටවලට වඩා ඔවුන්ගේ සිරුර රතු ව තිබුණේ ය. ඔවුන්ගේ ඔපය නීලමාණික්‍ය මෙන් විය.</verse>
				<verse number="8">දැන් ඔවුන්ගේ පෙනීම අඟුරුවලට වඩා කළු ය. ඔවුන් වීදිවල දී ඇඳිනගන්න වත් බැරි ය. ඔවුන්ගේ හම ලී මෙන් වියළී ඔවුන්ගේ ඇටවලට ඇළී ඇත.</verse>
				<verse number="9">සාගින්නෙන් මැරුම්කන්නන්ට වඩා කඩුවෙන් මැරුම්කන්නන්ට පහසුව ඇත්තේ ය. මන්ද, මොවුහු කෙතේ අස්වැන්න නැති බැවින් කෙමෙන් පීඩිත වී, ක්ෂය වී යති.</verse>
				<verse number="10">
					දයාවන්ත ස්ත්‍රීහු තමන්ගේ අත්වලින් සිය දරුවන් තම්බා පිසුවෝ ය.
					මාගේ සෙනඟ පිට පැමිණි විනාශයේ දී ඒ දරුවෝ ඔවුන්ට ආහාර වූ හ.
				</verse>
				<verse number="11">සමිඳාණෝ තම කෝපය නොවළක්වා තමන්ගේ බලවත් උදහස වැගිරෙවු සේක. සියොන්හි ගින්නක් ඇවිළු සේක. එයින් එහි අත්තිවාරම් දැවී ගියේ ය.</verse>
				<verse number="12">‘එදිරිකාරයා සහ සතුරා ජෙරුසලමේ දොරටුවලට ඇතුළු වන්නේ ය’යි පොළොවේ රජවරු ද ලෝකයේ සියලු වැසියෝ ද විශ්වාස නොකළෝ ය.</verse>
				<verse number="13">මෙසේ වනුයේ, දමිටු ලේ නගරය තුළ වැගිරෙවූ දිවැසිවරුන්ගේ පව් නිසාත්, පූජකයන්ගේ අපරාධ නිසාත් ය.</verse>
				<verse number="14">ඔව්හු අන්ධයන් මෙන් වීදිවල ඔබමොබ යති. මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වස්ත්‍රවල තැවරෙන්නට බැරි තරමට ඔව්හු ලෙයින් කිළුටු වී සිටිති.</verse>
				<verse number="15">“ඉවත් වන්න, අපවිත්‍ර ය. ඉවත් වන්න, ඉවත් වන්න, අපට අත නො ගසන්නැ”යි ඔව්හු ඔවුන්ට මොරගසා කී හ. ඔවුන් පලා ගොස් ඔබමොබ ගිය විට, “ඔව්හු තවත් මෙහි නොසිටිති”යි විජාතීන් අතරේ කියන ලද්දේ ය.</verse>
				<verse number="16">සමිඳාණෝ ම ඔවුන් විසුරුවා හැරිය සේක. එතුමාණෝ තවත් ඔවුන් නොසලකන සේක. සෙනඟ පූජකයන්ට ගරු නොකළ හ. වැඩිහිටියන්ට කරුණාව නොදැක්වූ හ.</verse>
				<verse number="17">නොලැබෙන උපකාර ගැන බලා සිටීමෙන් අපේ ඇස් තවත් අඳුරු වී යන්නේ ය. ගළවන්න බැරි ජාතියක් ගැන මුර කුළුණු උඩ අපි බලා සිටියෙමු.</verse>
				<verse number="18">අපේ වීදිවල අපට යන්න බැරි වන ලෙස අපේ සතුරෝ අපේ යාම් ඊම් සෝදිසියෙන් බලා සිටියහ. අපේ අන්තිමය ආසන්න ය; අපේ ඉරණම තීන්දු ය; මන්ද, අපේ අන්තිමය පැමිණ ඇත.</verse>
				<verse number="19">අප පසුපස ලුහුබැඳ ආ තැනැත්තෝ අහසේ රාජාලීන්ට වඩා වේගවත් වූ හ. ඔව්හු කඳුවල අප ලුහුබැඳ ආවෝ ය. අප අල්ලන්න පාළුකරයේ රැක සිටියෝ ය.</verse>
				<verse number="20">“ඔහුගේ ආරක්ෂා සෙවණෙහි ජාතීන් අතර අපට ජීවත් වන්න ලැබේ ය”යි අප කීවා වූ අපේ නාසයේ හුස්ම වැනි වූ සමිඳාණන්ගේ අභිෂේක ලත් තැනැත්තේ ඔවුන්ගේ බොරු වළේ අසුවුණේ ය.</verse>
				<verse number="21">ඌශ් දේශයෙහි වාසය කරන ඒදොම් ජාතිය, ප්‍රීති සන්තෝෂ වන්න. විනාශය ඔබ වෙතත් පැමිණෙන්නේ ය. ඔබ මත් වී නිරුවතින් සිටින්නෙහි ය.</verse>
				<verse number="22">එම්බා සියොන් පුරඟන, ඔබේ අයුතුකමේ දඬුවම ඉටු විය. එතුමාණෝ තවත් ඔබ විප්‍රවාසයට ගෙන නොයන සේක. එම්බා ඒදොම් පුරඟන, එතුමාණෝ ඔබේ අයුතුකමට දඬුවම් කරන සේක. ඔබේ පව් එළිදරව් කරන සේක.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">සමිඳුනි, අපට සිදු වී තිබෙන දේ සිහි කළ මැනව. අපේ නින්දාව බලා සැලකුව මැනව.</verse>
				<verse number="2">අපේ උරුමය අන්‍යයන්ටත්, අපේ ගෙවල් විදේශීන්ටත් අයිති වී තිබේ.</verse>
				<verse number="3">අපි අනාථයෝ ය, පියා නැති දරුවෝ ය. අපේ මවුවරු වැන්දඹුවන් මෙන් ය.</verse>
				<verse number="4">අප අපේ ම වතුර මිල දී ගත යුතු ය. අපේ ම දර අපට විකුණනු ලැබේ.</verse>
				<verse number="5">වියගහ අපේ කර පිට ය. මැරෙන තෙක් අපි වෙහෙසෙන්නෙමු. එහෙත්, අපට සහනයක් නැත.</verse>
				<verse number="6">සෑහෙන පමණ කෑම ලබන පිණිස, මිසරයටත්, අසිරියාවටත් අපි සිඟමින් ගියෙමු.</verse>
				<verse number="7">අපේ පියවරු පව් කළෝ ය; ඔව්හු දැන් නැත. ඔවුන්ගේ අයුතුකම් නිසා අපි දුක් විඳිමු.</verse>
				<verse number="8">වහල්ලු අප ආණ්ඩු කරති. ඔවුන් අතින් අප ගළවාගන්නට කෙනෙක් නැත.</verse>
				<verse number="9">පාළුකරයේ මිනීමරුවන් සැරිසරන බැවින් කෑම සෙවීමේ දී අපි අන්තරාවට මූණ පාමු.</verse>
				<verse number="10">සාගින්නේ තද උෂ්ණය නිසා අපේ හම උදුනක් මෙන් රත් වී තිබේ.</verse>
				<verse number="11">සියොන්හි ස්ත්‍රීහුත්, ජුදාහි නගරවල කන්‍යාවෝත් බලහත්කාරකම් කරනු ලැබූ හ.</verse>
				<verse number="12">අධිපතීහු තමන්ගේ අත්වලින් එල්ලනු ලැබූ හ. වැඩිහිටි අය ගරු නොකරන ලදහ.</verse>
				<verse number="13">වහලුන් මෙන් ධාන්‍ය ඇඹරීමට අපේ තරුණයෝ බල කරනු ලැබූ හ. ළමයි දරමිටිවල බරින් යට වී වැටි වැටී යති.</verse>
				<verse number="14">මහලු අය දොරටුවෙන් පහ ව ගියෝ ය. යෞවනයෝ ගීතිකා කිරීමෙන් වැළකුණෝ ය.</verse>
				<verse number="15">අපේ සිත්වලින් ප්‍රීතිය තුරන් විය. අපේ නැටීම වැලපීමට පෙරළුණේ ය.</verse>
				<verse number="16">අපේ හිසින් මල්දම් වැටුණේ ය. අප පව් කළ බැවින් අනේ! අපට වන දුකක මහත!</verse>
				<verse number="17">මේ නිසා අපේ සිත ක්ලාන්ත වී තිබේ. මේ දේවල් නිසා අපේ ඇස් අඳුරු වී තිබේ.</verse>
				<verse number="18">එසේ වන්නේ, සියොන් කන්ද පාළු වී තිබෙන බැවිනි. සිවලුන් සැරිසරන බැවිනි.</verse>
				<verse number="19">එහෙත් සමිඳුනි, ඔබ සදහට ම රජ ව සිටින සේක. ඔබේ සිහසුන පරපුරෙන් පරපුරට පවත්නේ ය.</verse>
				<verse number="20">මෙතෙක් කල් ඔබ අප අත් හළේ මන් ද? කවර දා නමුත්, ඔබ අප යළි සිහි කරන සේක් ද?</verse>
				<verse number="21">සමිඳුනි, අප ඔබ වෙත හරවාගත මැනව. අපේ පෙර වූ තේජස අපට යළි දුන මැනව.</verse>
				<verse number="22">ඔබ අප සහමුලින් පහ කරදැමූ සේක් ද? ඔබේ කෝපයට සීමාවක් නැද් ද?</verse>
			</chapter>
		</book>
		<book number="26">
			<chapter number="1">
				<verse number="1">තිස් වන අවුරුද්දේ සතර වන මාසයේ පස් වන දින කෙබාර් ගං තෙර විප්‍රවාසයට ගෙනයනු ලැබූ අය අතරේ එසකියෙල් නම් මා සිටින කල්හි අහස විවෘත වී දේව දර්ශන මට පෙනුණේ ය.</verse>
				<verse number="2">ජෙහෝයාකින් රජු විප්‍රවාසයට ගෙනයනු ලැබූ පසු, පස් වන අවුරුද්දේ මාසයේ පස් වන දින</verse>
				<verse number="3">බබිලෝනියේ කෙබාර් ගං තෙර බුසීගේ පුත් එසකියෙල් නම් පූජකයා වෙත සමිඳාණන් වහන්සේගේ පණිවුඩය පැමිණියේ ය. සමිඳාණන් වහන්සේගේ ආනුභාවය ද එහි දී ඔහු පිට විය.</verse>
				<verse number="4">මා බැලූ විට චණ්ඩ මාරුතයක් උතුරෙන් එනු මම දිටිමි. ඒ සමඟ දීප්තියෙන් වට වූ මහා වලාපටලයක් ද දිළිහෙන ලෝකඩ මෙන් ගින්න මැදින් බැබළීමක් ද ගිනි දලු විහිදෙන ගින්නක් ද වූයේ ය.</verse>
				<verse number="5">සතුන්ගේ පෙනුම ඇති සතරදෙනෙක් ඒ මැද සිටියහ.</verse>
				<verse number="6">ඔවුන්ගේ පෙනුම මෙසේ ය: ඔවුන්ට මනුෂ්‍ය ස්වරූප තිබුණේ ය. ඔවුන් එකිනෙකාට මුහුණු සතරක් ද පියාපත් සතරක් ද තිබිණි. ඔවුන්ට ඇද නැති පාද තිබිණි.</verse>
				<verse number="7">ඔවුන්ගේ පාදවල පතුල් වස්සෙකුගේ පාද පතුල් වැනි ය; ඒවා දීප්තිමත් ලෝකඩ මෙන් දිළිසුණේ ය.</verse>
				<verse number="8">ඔවුන්ගේ පියාපත් යට සතර පැත්තේ ඔවුන්ට මනුෂ්‍ය අත් තිබිණි. ඒ සතරදෙනාගේ මුහුණු හා පියාපත් මෙයාකාර ය:</verse>
				<verse number="9">ඔවුන්ගේ පියාපත් එකට එක් වී තිබුණේ ය. ගමන් කරන විට ඔව්හු නොහැරී කෙළින් ඉදිරියට ගියහ.</verse>
				<verse number="10">ඔවුන්ගේ මුහුණුවල පෙනීම මෙසේ ය: ඔවුන් සතරදෙනාට ඉදිරියෙන් මිනිස් මුහුණක් ද දකුණු පැත්තෙන් සිංහ මුහුණක් ද වම් පැත්තෙන් ගව මුහුණක් ද රාජාලියෙකුගේ මුහුණක් ද තිබිණි.</verse>
				<verse number="11">ඔවුන්ගේ පියාපත් ඉහළට විහිදී තිබිණි. එකිනෙකාගේ පියාපත් දෙකක් තවත් එකෙකුගේ පියාපත් සමඟ එක් වී තිබිණි. දෙකකින් ඔවුන්ගේ ශරීර වැසී තිබිණි.</verse>
				<verse number="12">ඔව්හු එක එකා කෙළින් ඉදිරියට ගියෝ ය. ආත්මානුභාවය පෙන්වූ මඟ ඔස්සේ ඒ මේ අත නොහැරී ඔව්හු ගමන් කළහ.</verse>
				<verse number="13">ඒ ජීවමාන සත්ත්වයන් මධ්‍යයෙහි ඇවිලෙන ගිනි අඟුරු වැනි වූ නැතහොත් ඔබමොබ යන පන්දම් වැනි වූ පෙනුමක් ඇති යම් කිසිවක් විය. ඒ ගින්න දීප්තිමත් ය; එයින් විදුලිය නික්මිණි.</verse>
				<verse number="14">විදුලිය දහරක් සේ ඒ ජීවමාන සත්ත්වයෝ ඔබමොබ දිව්වෝ ය.</verse>
				<verse number="15">මා ජීවමාන සත්ත්වයන් දෙස බලා සිටිය දී පොළොව මත ඒ සත්ත්වයන් සතරදෙනා ළඟ එකෙකුට එක බැගින් රන් චක්‍ර තිබෙනු මම දිටිමි.</verse>
				<verse number="16">ඒ චක්‍ර රන් කාන්ති මෙන් බැබළුණේ ය. ඒ සතර ම එක හා සමාන ය. හැඩයෙන් ද ක්‍රියාකාරිත්වයෙන් ද එක චක්‍රයක් තවත් චක්‍රයක් තුළ ඇතුවාක් මෙන් පෙනුණේ ය.</verse>
				<verse number="17">ඒවා ගමන් ගත්විට කිනම් අතකට වත් නොහැරී ඒවායේ පැති සතරෙන් එක දිශාවකට ගමන් ගත්තේ ය.</verse>
				<verse number="18">චක්‍රවල වළලු තිබිණි. ඒ වළලු සතර පුරා ඇස් තිබුණේ ය.</verse>
				<verse number="19">ඒ සත්ත්වයන් ගමන් ගත් විට චක්‍රත් ඔවුන් කැටුව ගියේ ය. ඒ ජීවමාන සත්ත්වයන් පොළොවෙන් නැඟුණු විට චක්‍රත් නැඟුණේ ය.</verse>
				<verse number="20">ආත්මානුභාවය පෙන්වූ මඟ ඔස්සේ ඒ සත්ත්වයෝ ගමන් කළහ. ඔවුන් කළ දේ ම චක්‍රයෝ ද කළහ. මන්ද, සත්ත්වයන්ගේ සිත චක්‍රවලත් තිබුණේ ය.</verse>
				<verse number="21">ඔවුන් යන විට ඒවාත් ගියේ ය. ඔවුන් නැවතුණ විට ඒවාත් නැවතුණේ ය. ඔවුන් පොළොවෙන් නැඟිටි විට ඔවුන් කැටුව චක්‍රත් නැඟිට්ටේ ය. මන්ද, ජීවමාන සත්ත්වයන්ගේ සිත චක්‍රවල තිබුණේ ය.</verse>
				<verse number="22">තවද, සත්ත්වයන්ගේ හිසට උඩින් පළිඟු මෙන් බබළන ආකාශයක් තිබුණේ ය. එය ඔවුන්ගේ හිස්වලට ඉහළින් විහිදී තිබුණේ ය.</verse>
				<verse number="23">ආකාශයට යටින් ඔවුන්ගේ පියාපත් එකට එක කෙළින් ව විහිදී තිබුණේ ය. සිය සිරුර ආවරණය කරන පියාපත් දෙකක් එක එක සත්ත්වයාට තිබුණේ ය.</verse>
				<verse number="24">ඔවුන් යන විට, ඔවුන්ගේ පියාපත්වල ශබ්දය බොහෝ ජල ධාරාවන්ගේ ශබ්දය මෙන් ද සර්ව පරාක්‍රමයාණන්ගේ හඬ මෙන් ද මට ඇසිණි. එයින් නැඟුණු ඝෝෂාව යුද කඳවුරක ඝෝෂාව මෙන් විය. ඔවුන් නැවතී සිටි විට, ඔව්හු සිය පියාපත් පහත් කරගත්තෝ ය.</verse>
				<verse number="25">ඔවුන්ගේ හිස්වලට උඩින් තිබුණු අහස් ගැබට ඉහළින් හඬක් පැමිණියේ ය. ඔවුන් නැවතී සිටි විට, ඔව්හු සිය පියාපත් පහත් කරගත්තෝ ය.</verse>
				<verse number="26">ඔවුන්ගේ හිස්වලට උඩින් තිබුණ ආකාශයට ඉහළින් නීලමාණික්‍යයක පෙනීම ඇති සිංහාසනයක ස්වරූපයක් තිබුණේ ය. සිංහාසනය මත මිනිස් පෙනීමක් වැනි ස්වරූපයක් තිබිණි.</verse>
				<verse number="27">ඒ ස්වරූපයේ ඉඟටියේ සිට ඉහළට ගිනි උදුනක බැබළෙන ලෝකඩ වැනි පෙනුමක් මම දිටිමි; ඉඟටියේ සිට පහළට හාත්පසින් දීප්තියක් ඇති ගින්නක පෙනුමක් දිටිමි.</verse>
				<verse number="28">හාත්පසින් තිබුණු දීප්තියේ පෙනීම වර්ෂා දවසක වලාකුළේ තිබෙන දේදුන්නක පෙනීම මෙන් විය. මේ වනාහි සමිඳාණන් වහන්සේගේ තේජාන්විත ස්වරූපයේ පෙනීම ය. එය දුටු කල මම මුණින්තළා වී වැටුණෙමි. එවිට කතා කරන කෙනෙකුගේ හඬ මට ඇසිණි.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">උන් වහන්සේ මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, නැඟිට සිටින්න; මම නුඹ සමඟ කතා කරන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="2">උන් වහන්සේ මට කතා කළ විට, දේවාත්මානුභාවය මා තුළට ඇතුල් වී මා නැඟිටුවා සිටෙව්වේ ය. මට කතා කළ තැනැන් වහන්සේගේ හඬ මට ඇසුණේ ය.</verse>
				<verse number="3">උන් වහන්සේ මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, මට විරුද්ධ ව කැරලි ගැසූ, කැරලිකාර ජාතියක් වන ඉශ්රායෙල්වරුන් වෙත මම නුඹ යවමි. ඔව්හු ද ඔවුන්ගේ පියවරු ද අද දවස දක්වා ම මට විරුද්ධ ව ද්‍රෝහිකම් කළහ.</verse>
				<verse number="4">ඒ සෙනඟ මුරණ්ඩු දැඩි සිත් ඇත්තෝ වෙති. මම ඔවුන් වෙත නුඹ යවමි. නුඹ ද, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්න.</verse>
				<verse number="5">ඔවුන් කැරලිකාර මනුෂ්‍යයන් වන බැවින් සවන් දුන්නත්, නුදුන්නත් ඔවුන් අතරෙහි දිවැසිවරයෙකු සිටින බව ඔවුන් දැනගනු ඇත.</verse>
				<verse number="6">“මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් නුඹට කහඹිලියා හා කටු ගස් මෙන් වුවත්, නුඹ ගෝනුස්සන් අතරේ වාසය කරන්නේ වී නමුත්, ඔවුන්ට වත්, ඔවුන්ගේ වචනවලට වත් බිය නොවන්න. ඔවුන්ගේ මුහුණේ පෙනුමට නොකැළඹෙන්න.</verse>
				<verse number="7">ඔවුන් ඉතා කැරලිකාර බැවින් ඔවුන් සවන් දුන්නත් නුදුන්නත් මාගේ වචනය ඔවුන්ට ප්‍රකාශ කරන්න.</verse>
				<verse number="8">“එහෙත් මනුෂ්‍ය පුත්‍රය, මා නුඹට කියන දේට නුඹ සවන් දෙන්න. ඒ කැරලිකාර වංශය මෙන් නුඹ ද කැරලිකාරයෙක් නොවන්න. නුඹ කට ඇර මා නුඹට දෙන දේ අනුභව කරන්න.”</verse>
				<verse number="9">මා බැලූ කල මා දෙසට අතක් දිගු කර තිබෙනු දිටිමි. ඒ අතෙහි අකුළන පොතක් තිබුණේ ය.</verse>
				<verse number="10">උන් වහන්සේ එය මා ඉදිරියෙහි දිග හැරිය සේක. එහි ඇතුළත හා පිටත ලියා තිබුණි. එහි ලියා තිබුණේ විලාප, වැලපීම් හා ලතෝනි ය.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">උන් වහන්සේ කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, නුඹට දෙන ලද දේ අනුභව කරන්න. මේ පොත අනුභව කර ගොස් ඉශ්රායෙල් වංශයට කතා කරන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="2">එවිට මම මාගේ කට ඇරියෙමි; උන් වහන්සේ ද ඒ පොත අනුභව කරන්න මට දුන් සේක.</verse>
				<verse number="3">තවද, උන් වහන්සේ කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, මා නුඹට දෙන මේ පොත අනුභව කර නුඹේ කුස පුරවා ගන්නැ”යි මට වදාළ සේක. මම එය අනුභව කෙළෙමි; එය මාගේ කටට මී පැණි මෙන් මිහිරි ව තිබිණි.</verse>
				<verse number="4">උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඉශ්රායෙල් සෙනඟ වෙත ගොස් මා කියන දේ ඔවුන්ට කියන්න.</verse>
				<verse number="5">නුඹ යවනු ලබන්නේ දුෂ්කර, අන් භාෂාවක් කතා කරන සෙනඟක් වෙත නොව, ඉශ්රායෙල් සෙනඟ වෙත ය.</verse>
				<verse number="6">නුඹ යවනු ලබන්නේ නුඹට තේරුම්ගත නොහැකි, දුෂ්කර අන් භාෂාවක් කතා කරන උසස් ජාතීන් වෙත නොවේ. සැබැවින් ම ඔවුන් වෙත මම නුඹ යැවීම් නම්, ඔවුන් නුඹට සවන් දෙනු ඇත.</verse>
				<verse number="7">එහෙත්, ඉශ්රායෙල් සෙනඟ මට සවන් දෙන්නට අකමැති බැවින් ඔව්හු නුඹට සවන් දෙන්නට කැමැති නොවෙති. මන්ද, මුළු ඉශ්රායෙල් සෙනඟ මුරණ්ඩු ය. දැඩි සිත් ද ඇත්තෝ ය.</verse>
				<verse number="8">බලන්න, මම ඔවුන් මෙන් නුඹ ද මුරණ්ඩු කර, දැඩි සිත් ඇත්තෙකු කරන්නෙමි.</verse>
				<verse number="9">මම නුඹේ අධිෂ්ඨානය ගිනිගලට වඩා තද වූ වෛදූර්ය මෙන් ශක්තිමත් කරන්නෙමි. ඔවුන් කැරලිකාර සෙනඟක් වන නමුත් ඔවුන්ට බිය නොවන්න. ඔවුන්ගේ රවා බැලීමට නොකැළඹෙන්න.”</verse>
				<verse number="10">තවද, උන් වහන්සේ මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, නුඹට කියන මාගේ සියලු ම වචනවලට හොඳින් සවන් දී, නුඹේ සිතේ ඒවා නිදන් කරගන්න.</verse>
				<verse number="11">විප්‍රවාසගත ව සිටින නුඹේ සෙනඟ වෙත ගොස්, ඔවුන් සවන් දුන්නත් නුදුන්නත් ඔවුන්ට කතා කොට, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="12">එවිට ආත්මයාණෝ මා ඔසවාගත්හ. “ස්වකීය වාසස්ථානයේ සිටින සමිඳාණන් වහන්සේගේ මහිමයට ප්‍රශංසා වේ වා!”යි කියන භූමි කම්පාවක් වැනි ඝෝෂාවක් මා පිටුපසින් මට ඇසුණේ ය.</verse>
				<verse number="13">මේ වනාහි එකිනෙකට වැදුණු සත්ත්වයන්ගේ පියාපත්වල ශබ්දය ද ඒ ළඟ තිබූ රෝදවල භූමි කම්පාවක ශබ්දය වැනි ශබ්දය ද විය.</verse>
				<verse number="14">මෙලෙස ආත්මානුභාවයාණෝ මා ඔසවාගෙන ගියහ. දුකින් හා උදහසින් පිරුණු සිතකින් මම පිටත් ව ගියෙමි. සමිඳාණන් වහන්සේගේ බලය මා කෙරෙහි බලවත් ලෙස පැමිණියේ ය.</verse>
				<verse number="15">එවිට මම කෙබාර් ගංගාව ළඟ තේල්-ආබිබ් යන ස්ථානයෙහි විසූ විප්‍රවාසගතවූවන් ළඟට පැමිණ, එහි සත් දවසක් ඔවුන් සමඟ බිරාන්ත ව නැවතී සිටියෙමි.</verse>
				<verse number="16">තවද, සත් දවසකට පසු සමිඳාණන් වහන්සේ මට කතා කරමින් මෙසේ වදාළ සේක:</verse>
				<verse number="17">“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශය කෙරෙහි මම නුඹ මුරකාරයෙකු වශයෙන් පත් කෙළෙමි. මාගෙන් යම් වචනයක් ඇසෙන සෑම විට ම ඔවුන්ට අවවාද කරන්න.</verse>
				<verse number="18">‘නුඹ සැබැවින් ම නසින්නෙහි ය’යි මා දුෂ්ටයාට කියන කල, නුඹ ඔහුට අවවාද නොකරන්නෙහි නම්, දුෂ්ටයා ජීවත් වන පිණිස තමාගේ දුෂ්ට මාර්ගයෙන් හැරෙන ලෙස ඔහුට අවවාද කරන පිණිස ඔහුට කතා නොකරන්නෙහි නම්, ඒ දුෂ්ටයා සිය පාපය නිසා මැරෙනු ඇත. එවිට ඔහුගේ මරණය ගැන නුඹ වගකිවයුත්තා වශයෙන් මම සලකමි.</verse>
				<verse number="19">එහෙත්, නුඹ දුෂ්ටයාට අවවාද කළ විට, ඔහු සිය පාපය හා දුෂ්ට මාර්ගය අත් නොහරින්නේ නම්, ඔහු සිය පාපය නිසා නසිනු ඇත. එහෙත්, නුඹ නුඹේ ජීවය රැකගනු ඇත.</verse>
				<verse number="20">“තවද, ධර්මිෂ්ඨ මිනිසෙකු තමාගේ ධර්මිෂ්ඨකම අත්හැර පාපය කළ විට, එය ඔහුගේ වැටීමට හේතුවක් වන්නට මා ඉඩ හැරියොත්, නුඹ ඔහුට අවවාද නොකළ නිසා ඔහු සිය පාපයෙහි නසිනු ඇත. ඔහු කළ ඔහුගේ දැහැමි ක්‍රියා සිහිකරනු නොලබන්නේ ය. ඔහුගේ මරණය ගැන නුඹ වගකිවයුත්තා වශයෙන් මම සලකමි.</verse>
				<verse number="21">එහෙත්, ධර්මිෂ්ඨයා පව් නොකරන ලෙස නුඹ ඔහුට අවවාද කළ විට, ඔහු පව් නොකර සිටියොත්, අවවාද පිළිගත් බැවින් ඔහු සැබැවින් ම ජීවත් වන්නේ ය. නුඹ ද නුඹේ පණ ගළවා ගන්නෙහි ය.”</verse>
				<verse number="22">එවිට, සමිඳාණන් වහන්සේගේ බලය එහි දී මා පිට පැමිණියේ ය. උන් වහන්සේ කතා කොට, “නැඟිට මිටියාවතට යන්න. එහි දී නුඹ සමඟ කතා කරන්නෙමි”යි මට වදාළ සේක.</verse>
				<verse number="23">මම ද නැඟිට සමභූමියට ගියෙමි. එවිට, කෙබාර් ගඟ ළඟ දී මා දුටු තේජස මෙන් සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරය එහි තිබෙනු දිටිමි. මම මුණින්තළා වී වැටුණෙමි.</verse>
				<verse number="24">එහෙත්, දේවාත්මයාණෝ මට ඇතුළු වී, මා නැඟිට සිටුවා, මා සමඟ කතා කොට මෙසේ වදාළ සේක: “නුඹේ ගෙට වැද දොර වසාගෙන සිටින්න.</verse>
				<verse number="25">මනුෂ්‍ය පුත්‍රය, නුඹ කඹවලින් වෙළා බඳිනු ලැබේ. සෙනඟ අතරට නුඹට යන්නට නොහැකිවනු ඇත.</verse>
				<verse number="26">මම නුඹේ දිව නුඹේ උඩුතල්ලේ ඇලෙන්න සලස්වන්නෙමි. එවිට නුඹ ගොළු වී, ඔවුන් කැරලිකාර සෙනඟක් වන බැවින් ඔවුන්ට තරවටු කරන්න නුඹට නොහැකි වන්නේ ය.</verse>
				<verse number="27">එහෙත්, මා නුඹ සමඟ කතා කරන කල නුඹට කතා ශක්තිය දෙන්නෙමි. නුඹ ද කතා කරමින්, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්නෙහි ය, සවන් දෙන්නෝ සවන් දෙත්වා; සවන් නොදෙන්නෝ සවන් නොදෙත්වා. මන්ද, ඔව්හු කැරලිකාර සෙනඟකි.”</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">දෙවියන් වහන්සේ මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, ගඩොලක් ගෙන එය නුඹ ඉදිරියෙහි තබාගෙන නුවරක් එනම්, ජෙරුසලම් නුවර සටහනක් අඳින්න.</verse>
				<verse number="2">ඉන්පසු ඊට විරුද්ධ ව බලකොටු ගොඩනඟා, ගොඩැල්ලක් ඉදිකොට, කඳවුර තබා, එය සිසාරා යුද්ධ යන්ත්‍ර තබා එය වටලාගන්න.</verse>
				<verse number="3">තවද, යකඩ තහඩුවක් ගෙන එය යකඩ පවුරක් මෙන් නුඹටත්, නුවරටත්, අතර තබන්න. ඉන්පසු ඒ දෙසට නුඹේ මුහුණ හරවන්න. නගරය වටලනු ලැබේ. එය වටලන්නේ නුඹ ය. ඉශ්රායෙල් ජාතියට මෙය ලකුණක් ය.</verse>
				<verse number="4">“දැන් නුඹ වම් අතට හැරී දිගා වන්න. ඉශ්රායෙල් ජාතියේ වරද මම නුඹ පිට තබන්නෙමි. නුඹ යම් තාක් කල් දිගා වී සිටින්නෙහි ද ඒ තාක් කල් නුඹ ඔවුන්ගේ වරදේ විපාකය විඳින්නෙහි ය.</verse>
				<verse number="5">මම නුඹට දවස් ගණනක් නියම කරන්නෙමි. එනම්, දවස් තුන්සිය අනූවකි. එක එක දවස ඉශ්රායෙල් ජාතියේ එක එක අවුරුද්ද වශයෙන් ගණන් ගනු ලැබේ.</verse>
				<verse number="6">නුඹ මෙසේ කළ පසු නුඹ යළිත් දිගා වන්නෙහි ය. එහෙත්, දැන් දකුණු අතට ය. මෙසේ නුඹ ඉශ්රායෙල් ජාතියේ වරද දරා ගන්නෙහි ය. මම නුඹට දවස් සතළිසක් නියම කරන්නෙමි; එක එක දවස එක එක අවුරුද්ද වශයෙන් ගණන්ගනු ලැබේ.</verse>
				<verse number="7">“නුඹේ මුහුණ ද ජෙරුසලම වැටලීම දෙසට හරවා හිඳගෙන නුඹේ නොවැසූ අත ඊට විරුද්ධ ව ඔසවා දිවැස් වැකි කියන්න.</verse>
				<verse number="8">බලන්න, වටලෑමේ දවස් අවසාන වන තුරු නුඹ එක අංශයකින් අනික් අංශයට නො-හැරෙන පිණිස මම නුඹ කඹවලින් බැඳ තබමි.</verse>
				<verse number="9">“තවද, නුඹ තිරිඟු, යව, මෑ, කොල්ලු, කුරක්කන් හා තණහාල් රැගෙන, ඒවා භාජනයක තබා එයින් රො‍ටි සාදාගන්න. නුඹ එක අංශයකට දිගා වී සිටින දවස් ගණන වන දවස් තුන්සිය අනූව තුළ ඒවා අනුභව කරන්න.</verse>
				<verse number="10">නුඹ දවසකට කන කෑම ද ග්‍රෑම් දෙසිය තිහක් පමණ විය යුතු ය. වරින් වර ඒවා කන්න.</verse>
				<verse number="11">වතුරත් දවසකට කෝප්ප දෙකක් මැන වරින් වර බීමට ගත යුතු ය.</verse>
				<verse number="12">යව රො‍ටි මෙන් ඒ කෑම කන්න. මනුෂ්‍යයා පහකරන අශුචිවලින් ඔවුන්ගේ ඇස් හමුයෙහි ඒවා පිසන්න.</verse>
				<verse number="13">“මා ඉශ්රායෙල්වරුන් ජාතීන් අතරට පන්නා දැමූ කල්හි ඔවුන් එසේ එහි දී තමන්ගේ අපවිත්‍ර වූ කෑම කනු ඇත.”</verse>
				<verse number="14">එවිට මම පිළිතුරු දෙමින්, “අහෝ දෙවි ස්වාමීන් වහන්ස! මම කවදාවත් මාව ම අපවිත්‍ර කර නොගතිමි. මාගේ බාල වයසේ පටන් මේ දක්වා කුණප වත්, මෘගයන් විසින් ඉරාදැමුණු සතෙකු වත් නොකෑවෙමි. පිළිකුල් මාංස මාගේ කටට ඇතුල් නො වේ වා”යි කීමි.</verse>
				<verse number="15">එවිට උන් වහන්සේ කතා කොට, “මෙන්න, මනුෂ්‍ය අශුචි වෙනුවට ගවයින්ගේ ගොම නුඹට නියම කෙළෙමි. ඒවා මත නුඹේ රො‍ටි පිසන්නැ”යි මට වදාළ සේක.</verse>
				<verse number="16">තවදුරටත් කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, මම ජෙරුසලමේ කෑම ප්‍රමාණය අඩු කරන්නෙමි. එවිට භීතියෙන් ඔව්හු කෑම කිරා කන්නෝ ය. කනස්සලුකමින් වතුර මැන බොන්නෝ ය.</verse>
				<verse number="17">ඔවුන්ට කෑම ද වතුර ද නැති ව ගොස් එකිනෙකා දෙස බැලීමෙන් තැතිගෙන තමන්ගේ වරද නිසා වැහැරී යන ලෙස මම සලසන්නෙමි”යි වදාළ සේක.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, තියුණු කඩුවක් ගන්න. එය කරණවෑමියන්ගේ දැළිපිහියක් මෙන් පාවිච්චි කර නුඹේ හිසකෙස් ද රැවුල ද එයින් බූගා, තරාදියක් රැගෙන එය කිරා ඒ කේශ බෙදන්න. වටලෑමේ දවස් සම්පූර්ණ වූ කල්හි</verse>
				<verse number="2">එයින් තුනෙන් පංගුවක් නුවර මැද ගින්නෙන් දවාලන්න; තුනෙන් පංගුවක් රැගෙන නගරය වටකරින් ඒවාට කඩුවෙන් ගසන්න; තුනෙන් පංගුවක් සුළඟට විසුරුවා දමන්න. මම ද ඒවා පසුපස්සෙන් කොපුවෙන් ඇදගත් කඩුවක් ඇති ව ලුහුබැඳ එන්නෙමි.</verse>
				<verse number="3">එයින් ස්වල්පයක් රැගෙන ඒවා නුඹේ වස්ත්‍රයේ වාටිවල කොන්වල බැඳගන්න.</verse>
				<verse number="4">නැවත එයින් ස්වල්පයක් රැගෙන, ඒවා ගින්න මැදට හෙළා, ඒවා ගින්නෙන් දවාලන්න. එයින් මුළු ඉශ්රායෙල් ජාතියට විරුද්ධ ව ගින්නක් නික්මෙන්නේ ය.”</verse>
				<verse number="5">මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “ජෙරුසලම දෙස බලන්න. මම ඈ ජාතීන් මැද පිහිටුවීමි. ඈ අවටින් විදෙස් රටවල් තිබේ.</verse>
				<verse number="6">දුෂ්ටකම් කොට ජාතීන්ට වඩා මාගේ නියෝගයන්ටත් ඈ වටකර තිබෙන රටවලට වඩා මාගේ පණත්වලටත් විරුද්ධ ව ඈ කැරලි ගැසුවා ය. මන්ද, ජෙරුසලම් වැසියෝ මාගේ විනිශ්චය එපා කළෝ ය. මාගේ අණපණත් ප්‍රකාරයට නොහැසුරුණෝ ය.</verse>
				<verse number="7">එබැවින් මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය. නුඹලා අවට සිටින විජාතීන්ට වඩා නුඹලා කෝලාහල කර, මාගේ අණපණත් ප්‍රකාරයට නොහැසිර, මාගේ නියෝගයන් රක්ෂා නොකර, නුඹලා අවට සිටින විජාතීන්ගේ නියෝගයන් අනුව ක්‍රියා කළ බැවින්</verse>
				<verse number="8">මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න ජෙරුසලම, මම-මම වුව ද, නුඹට විරුද්ධ වෙමි. විජාතීන්ගේ ඇස් හමුයෙහි නුඹ පිට දඬුවම් පමුණුවන්නෙමි.</verse>
				<verse number="9">නුඹේ සියලු පිළිකුල් ක්‍රියා නිසා, මා පෙර නොකළ, මතු නොකරන විධියේ දේවල් නුඹට කරන්නෙමි.</verse>
				<verse number="10">අහෝ ජෙරුසලම! නුඹ තුළ පියවරු පුත්‍රයන් ද පුත්‍රයෝ තමන්ගේ පියවරුන් ද කන්නාහ; මම නුඹට දඬුවම් කොට ජෙරුසලමෙහි ඉතිරි වන සියල්ලන් දස දෙස විසුරුවා දමන්නෙමි.</verse>
				<verse number="11">“එබැවින් ජීවමාන මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මම මෙසේ දිවුරා කියමි. නුඹේ සියලු අශික්ෂිතකම්වලින් ද නුඹේ සියලු පිළිකුල්කම්වලින් ද නුඹ මාගේ ශුද්ධස්ථානය අපවිත්‍ර කළ නිසා සැබැවින් ම මමත් නුඹ නිර්දය ලෙස වනසාලන්නෙමි. මම ද නුඹට කරුණා නොකරන්නෙමි; අනුකම්පාව නොපෙන්වන්නෙමි.</verse>
				<verse number="12">නුඹේ සෙනඟගෙන් තුනෙන් කොටසක් වසංගතයෙන් මිය යන්නෝ ය; ඔව්හු සාගතයෙන් නුඹ අතරෙන් නැති වන්නෝ ය. තුනෙන් කොටසක් නුඹ අවටින් කඩු පහරින් වැටෙනු ඇත; මම තුනෙන් කොටසක් ද දස දෙස විසුරුවාදමා, කඩුවක් රැගෙන ඔවුන් පස්සෙන් ලුහුබැඳ යන්නෙමි.</verse>
				<verse number="13">“මෙසේ මාගේ උදහස සෑහීමට පත්වනු ඇත. ඔවුන් කෙරෙහි මාගේ කෝපය දල්වා තෘප්තියට පැමිණෙන්නෙමි. මා මාගේ කෝපාග්නිය ඔවුන් කෙරෙහි දැල් වූ විට, ප්‍රතිවාදීන් නොඉවසන ස්වාමීන් වන මා නුඹේ ද්‍රෝහිකමට විරුද්ධ ව තද උදහසින් කතා කළ බව නුඹ දැනගනු ඇත.</verse>
				<verse number="14">නුඹ අවට සිටින ජාතීන්ට මම නුඹ නින්දාවක් ද අවමානයක් ද වන්නට සලසන්නෙමි. නුඹ අවටින් ගමන් කරන සියල්ලන් එය දකිනු ඇත.</verse>
				<verse number="15">මා උදහසින් ද කෝපයෙන් ද රුදුරු දඬුවම්වලින් ද මාගේ නියෝගයන් නුඹ වෙත ඉෂ්ට කරන කල්හි නුඹ අවට සිටින සියලු විජාතීන් භීතියෙන් ඇලළී යනු ඇත. නුඹලා අවට සිටින විජාතීන්ට එය නින්දාවක් සහ සරදමක් ද යස පාඩමක් හා භීතියක් ද වන්නේ ය. මෙසේ පවසන්නේ, සමිඳාණන් වහන්සේ වන මම ය.</verse>
				<verse number="16">නුඹට විරුද්ධ ව මා විදින සාගතය නමැති මාරක ඊගස්, එනම් විනාශ කරන සුලු ඊගස් නුඹ විනාශ කරන්නට මම විදින්නෙමි. මම නුඹලා කෙරෙහි වඩා දරුණු සාගතයක් පමුණුවා නුඹලාට ආහාර ලැබීමේ මාර්ග කපා හරින්නෙමි.</verse>
				<verse number="17">මම නුඹලාට විරුද්ධව සාගතයක් ද වන මෘගයන් ද එවන්නෙමි. එයින් නුඹලාගේ දරුදැරියන් නැති වී යනු ඇත. වසංගතය ද සාගතය ද ජෙරුසලමේ සෑම තැන ම පැතිරී යනු ඇත. නුඹලාට විරුද්ධ ව යුද්ධයක් ඇති කරන්නෙමි. ස්වාමීන් වන මා මෙසේ පවසා ඇත.”</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ ඉශ්රායෙල්හි කඳු දෙසට හරවාගෙන ඒවාට විරුද්ධ ව මේ දිවැස් වැකිය කියන්න.</verse>
				<verse number="3">‘එම්බා ඉශ්රායෙල්හි කඳු, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේගේ පණිවුඩය අසන්නැ’යි කියන්න. කඳුවලටත්, මිටියාවත්වලටත්, නිම්නවලටත් දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මෙන්න, මම, මම ම, නුඹලා පිට කඩුවක් පමුණුවා, නුඹලාගේ කඳු මත පූජාස්ථාන නැති කරන්නෙමි.</verse>
				<verse number="4">නුඹලාගේ පූජාසන පාළු වන්නේ ය. නුඹලාගේ ධූම පූජාසන කඩාදමනු ලබන්නේ ය. නුඹලා අතරෙන් මරුමුවට පත් වූ අය නුඹලාගේ දේව රූප ඉදිරිපිට බිම හෙළන්නෙමි.</verse>
				<verse number="5">ඉශ්රායෙල්වරුන්ගේ මළකඳන් ඔවුන්ගේ දේව රූප ඉදිරියෙහි දමා, නුඹලාගේ ඇට කටු නුඹලාගේ පූජාසන අවටින් විසුරුවන්නෙමි.</verse>
				<verse number="6">නුඹලාගේ පූජාසන පාළු වී, නාස්ති වී, නුඹලාගේ දේව රූප කඩා දමනු ලැබ, ඒවා විනාශ වී නුඹලාගේ ධූම පූජාසන කඩාදමනු ලැබ, නුඹලාගේ කර්මාන්ත නැති වී යන පිණිස නුඹලාගේ සියලු වාසස්ථානවල නගර නටබුන් ගොඩක් වන්නේ ය. කඳු මත පූජාස්ථාන ද පාළු වන්නේ ය.</verse>
				<verse number="7">මරුමුවට පත් වූ අය නුඹලා අවට වැටී සිටින විට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.</verse>
				<verse number="8">“එසේ වී නමුත්, මම නුඹලාගෙන් සමහරෙකු ජීවත් ව සිටින්නට ඉඩ හරින්නෙමි. ඔවුන් කඩුවෙන් ගැළවී ජාතීන් අතර විසිර යනු ඇත.</verse>
				<verse number="9">නුඹලා අතරෙන් ගැළවෙන අය විප්‍රවාසයට ගෙනයනු ලැබූ විට ඒ ඒ ජාතීන් අතර මා සිහි කරනු ඇත. එසේ වන්නේ, මා වෙතින් වෙන් වී ගිය ඔවුන්ගේ අවිශ්වාසී සිත මා බිඳදැමූ විට ද මා තුළ විශ්වාසය නොතබා දේව රූප දෙසට හැරුණු ඔවුන්ගේ ඇස් අන්ධ කළ විට ද වේ. ඔවුන් කළ නපුරුකම් නිසා ද ඔවුන්ගේ ද්වේෂ සහගත ක්‍රියා නිසා ද ඔව්හු ඔවුන්ගේ ඇස් හමුයෙහි ම පිළිකුලක් වන්නෝ ය.</verse>
				<verse number="10">මා සමිඳාණන් වහන්සේ බවත්, මේ විපත්ති ඔවුන් පිට පමුණුවන්නෙමි යි මා වදාළ වචන නිකරුණේ නොවදාළ බවත් ඔවුන් දැනගනු ඇත.”</verse>
				<verse number="11">මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “නුඹේ දෑත මිරිකමින්, පොළොවේ අඩි හප්පමින්, ‘අහෝ! ඉශ්රායෙල් සෙනඟගේ සියලු නපුරු පිළිකුල් ක්‍රියා නිසා කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද ඔව්හු වැටෙති’යි කියන්න.</verse>
				<verse number="12">ඈත සිටින අය වසංගතයෙන් මැරෙනු ඇත; ළඟ සිටින අය කඩුවෙන් මැරෙනු ඇත; ඉතුරු වී සිට වටලනු ලබන අය සාගතයෙන් නසිනු ඇත. මෙසේ මාගේ කෝපයේ උග්‍රකම ඔවුන්ට දැනෙනු ඇත.</verse>
				<verse number="13">උස් වූ සියලු හෙල්වලත්, සියලු කඳු මුදුන්වලත්, සියලු අතු පතර ඇති ගස් යටත්, අතු ඇති සියලු ආලෝන ගස් යටත් තමන්ගේ සියලු දේව රූපවලට මිහිරි සුවඳ ඔප්පු කළ සෑම පූජාසන වටකර මළකඳන් වැටී තිබෙන කල, මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.</verse>
				<verse number="14">මම ඔවුන්ට විරුද්ධ ව මාගේ අත දිගු කොට පාළුකරය පටන් දිබ්ලා දෙසට පිහිටි ඔවුන්ගේ වාසස්ථාන ඇති මුළු දේශය පාළු ජරාවාස පෙදෙසක් කරන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">තවද, සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“මනුෂ්‍ය පුත්‍රය, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ඉශ්රායෙල් දේශය ගැන මෙසේ වදාරන සේක. තීන්දුවක් එනම්, දේශයේ හතර කොණේ ම අවසානය, පැමිණ තිබේ.</verse>
				<verse number="3">ඉශ්රායෙල් දේශය, නුඹේ අවසානය දැන් පැමිණ තිබේ. මාගේ උදහස නුඹලාට විරුද්ධ ව එවා, නුඹලාගේ කල්ක්‍රියාව අනුව නුඹලා විනිශ්චය කොට, නුඹලාගේ සියලු පිළිකුල්කම් අනුව නුඹලාට දඬුවම් කරන්නෙමි.</verse>
				<verse number="4">මම නුඹලාට දයාව නොදක්වමි; අනුකම්පා නොකරමි; පිළිකුල් කටයුතු දේ නුඹලා තුළ පවතින තුරු නුඹලාගේ කල්ක්‍රියාව අනුව මම නුඹලාට දඬුවම් කරන්නෙමි. මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.</verse>
				<verse number="5">“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න, විපත පිට විපත නුඹලා පිට පැමිණෙයි.</verse>
				<verse number="6">අවසානය පැමිණෙයි, ඇත්තෙන් ම පැමිණෙයි. එය නුඹලාට විරුද්ධ ව උදා වී ඇත. බලන්න, එය පැමිණෙන්නේ ය.</verse>
				<verse number="7">එම්බා රට වැසියෙනි, නුඹලාගේ දඬුවම් වාරය පැමිණියේ ය. කාලය පැමිණ තිබේ. දවස ආසන්න ය; එය වනාහි ප්‍රීති ඝෝෂා ඇති දවසක් නොව, කඳු මත කැළඹීමේ ඝෝෂා දවසක් ය.</verse>
				<verse number="8">“දැන් ඉක්මනින් මාගේ කෝපය නුඹලා පිට වගුරුවා, මාගේ උදහස නුඹලා කෙරෙහි පමුණුවන්නෙමි. නුඹලාගේ කල්ක්‍රියාව අනුව නුඹලා විනිශ්චය කොට, නුඹලාගේ සියලු පිළිකුල් ක්‍රියා අනුව නුඹලාට දඬුවම් කරන්නෙමි.</verse>
				<verse number="9">මම නුඹලාට දයාව නොදක්වමි; අනුකම්පා නොකරන්නෙමි. පිළිකුල් කටයුතු දේ නුඹලා තුළ පවතින තුරු නුඹලාගේ කල්ක්‍රියාව අනුව මම නුඹලාට දඬුවම් කරන්නෙමි. පහර දෙන්නේ ස්වාමීන් වන මා බව මෙසේ නුඹලා දැනගන්නහු ය.</verse>
				<verse number="10">“මෙන්න, ඒ දවස! බලන්න, ඒ දවස පැමිණෙයි. නුඹලාගේ දඬුවම් කාලය පැමිණ ඇත; අයුක්තිය වැජඹෙනු ඇත. උඩඟුකම උපරිම තත්ත්වයට පැමිණ ඇත.</verse>
				<verse number="11">බලහත්කාරකම් දරුණු දුෂ්ටකම්වලට හැරී ඇත. ඔවුන්ගෙන් හෝ ඔවුන්ගේ සමූහයන්ගෙන් හෝ කිසිවෙක් වත්, ඔවුන්ගේ වස්තුවෙන් හෝ තේජසින් හා අලංකාරයෙන් හෝ කිසිවක් වත් ඉතිරි නොවන්නෝ ය.</verse>
				<verse number="12">“කාලය පැමිණ තිබේ. දවස ළඟා වී තිබේ; මිලයට ගන්නා ප්‍රීති නො වේ වා; විකුණන්නා නොවැලපේවා. මන්ද, උදහස එහි මුළු සමූහයා පිට පැමිණ තිබේ.</verse>
				<verse number="13">වෙළෙන්දා තමා විකුණන දේ දිවි ඇති තාක් නැවත නොලබන්නේ ය. මන්ද, දේව උදහස සකල සමූහයට විරුද්ධ ව තිබේ. නපුර කළ අයට නපුර නිසා ජීවත් ව සිටිය නොහැකි ය.</verse>
				<verse number="14">ඔවුන් යුද්ධ හොරණෑව පිඹ සියල්ල සූදානම් කර තිබේ. එහෙත්, කිසිවෙක් සටනට නොයති. මන්ද, මාගේ කෝපය එහි මුළු සමූහයා කෙරෙහි ඇත්තේ ය.”</verse>
				<verse number="15">“පිටත යුද්ධ, ඇතුළත වංසගතය හා සාගත තිබේ. එළිමහන් තැන්හි සිටින අය කඩුවෙන් මැරෙනු ඇත; නගරයේ සිටින අය සාගතයෙන් ද වසංගතයෙන් ද විනාශ වන්නෝ ය.</verse>
				<verse number="16">එහෙත්, ඔවුන්, අතරෙන් ඉතිරි අය බියපත් ව මිටියාවත්වල පරෙවියන් මෙන් කඳුවලට පලා යනු ඇත. ඔවුන් තමන්ගේ පව් ගැන වැලපෙනු ඇත.</verse>
				<verse number="17">සියලු අත් බලහීන වනු ඇත. සියලු දණහිස් ද වෙවුළනු ඇත.</verse>
				<verse number="18">ඔව්හු ගෝණි රෙදි ඇඳගන්නෝ ය. භීතියෙන් ඇලළී යන්නෝ ය. හිස් මුඩු කරනු ලැබූ ඔව්හු ලජ්ජාවට පත් වන්නෝ ය.</verse>
				<verse number="19">ඔවුන් තමන්ගේ රිදී වීදිවලට විසි කරනු ඇත. ඔවුන්ගේ රන් ද අපවිත්‍ර දෙයක් මෙන් වන්නේ ය. සමිඳාණන් වහන්සේගේ උදහස පැමිණෙන දවසේ දී ඔවුන්ගේ රන් රිදී කරණකොටගෙන ගැළවෙන්න ඔව්හු අපොහොසත් වන්නෝ ය. එයින් ඔවුන්ගේ ආශාව තෘප්තියට පැමිණෙන්නේ වත්, ඔවුන්ගේ කුස පිරෙන්නේ වත් නැත. මන්ද, මේවා ඔවුන්ගේ අපරාධයට හේතු වන්නේ ය.</verse>
				<verse number="20">ඔව්හු තමන්ගේ අලංකාර ආභරණ අහංකාර වීමට කරුණක් කරගත්හ. එයින් පිළිකුල් රූප වන අශික්ෂිත දේ සාදාගත්හ. එබැවින් මම ඔවුන්ගේ වස්තුව ඔවුන්ට ම පිළිකුලක් කෙළෙමි.</verse>
				<verse number="21">මම එය විදේශීන්ට කොල්ලයක් ද පොළොවේ දුෂ්ටයන්ට කොල්ලකෑමක් ද පිණිස දෙමි; ඔවුන් එය කෙලෙසනු ඇත.</verse>
				<verse number="22">මාගේ මුහුණ ඔවුන් වෙතින් හරවාගනිමි. ඔවුන් මාගේ දේව මාලිගාව කෙලෙසනු ඇත. කොල්ලකාරයන් ද ඊට ඇතුල් වී එය කෙලෙසනු ඇත.</verse>
				<verse number="23">“සියල්ල වියවුල් ය. මන්ද, දේශය මිනීමැරීමේ අපරාධයෙන් පිරී තිබේ. නුවරත් බලහත්කාරකම්වලින් පිරී තිබේ.</verse>
				<verse number="24">එබැවින් මම ඉතා ම කෲරතර ජාතීන් ගෙන්වන්නෙමි. ඔව්හු මොවුන්ගේ ගෙවල් උරුම කරගන්නෝ ය. මම බලවතුන්ගේ උඩඟුකම නවත්වන්නෙමි; මොවුන්ගේ ශුද්ධස්ථාන ද කෙලෙසනු ලබන්නේ ය.</verse>
				<verse number="25">විනාශය පැමිණෙන්නේ ය. ඔව්හු සාමදානය සොයන්නෝ ය. එහෙත්, එය ලැබෙන්නේ නැත.</verse>
				<verse number="26">විපත පිට විපත ද අසුබ ආරංචියක් පිට අසුබ ආරංචියක් ද පැමිණෙන්නේ ය; ඔවුන් දිවැසිවරුන්ගේ දර්ශනයක් සොයනු ඇත; එහෙත්, පූජකයන්ගෙන් ව්‍යවස්ථාව ද ප්‍රජා මූලිකයන්ගෙන් අවවාද ද පහවන්නේ ය.</verse>
				<verse number="27">රජතුමා වැලපෙන්නේ ය. අධිපතියා ශෝකයෙන් කලකිරෙන්නේ ය. දේශයේ සෙනඟගේ අත් පණ නැති වන්නේ ය. මම ඔවුන්ගේ කල්ක්‍රියාව අනුව ඔවුන්ට දඬුවම් කරන්නෙමි. ඔවුන්ගේ ම විනිශ්චයයන් අනුව ඔවුන් විනිශ්චය කරන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">තවද, හය වන අවුරුද්දේ හය වන මාසයේ පස් වන දින මා මාගේ ගෙදර ද ජුදාහි ප්‍රජා මූලිකයන් මා ඉදිරියෙහි හිඳගෙන ද සිටින කල මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේගේ බලය එහි දී මා කෙරෙහි පැමිණියේ ය.</verse>
				<verse number="2">මා බැලූ විට ගිනිගත් මනුෂ්‍ය රූපයක් වැනි යමක් දිටිමි. එහි ඉඟටිය මෙන් පෙනුණ කොටස ගින්නෙන් වෙළී තිබිණි. එයින් ඉහළ කොටස කාන්තියෙන් දිළිසෙන ලෝකඩ මෙන් බැබළෙන පෙනීමක් ද තිබිණි.</verse>
				<verse number="3">එතුමා අතක් වැන්නක් දිගු කොට මාගේ හිසේ කෙස් රො‍දකින් මා අල්ලාගත්තේ ය. දේවාත්මානුභාවය ද දෙවියන් වහන්සේගෙන් වූ දර්ශනය මඟින් පොළොවටත්, අහසටත් අතරේ මා උසුලාගෙන ගොස්, ජෙරුසලමේ උතුරු දෙස තිබෙන, දේව උදහස උපදවන ද්වේෂ සහගත රූපයක් ඇති ඇතුළු දොරටුවට මා පැමිණෙවුවේ ය.</verse>
				<verse number="4">එවිට සමභූමියෙහි දුටු පෙනීම වැනි ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ තේජස එහි තිබෙනු මම දිටිමි.</verse>
				<verse number="5">උන් වහන්සේ ද කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, නුඹේ ඇස් දැන් උතුරු දෙසට ඔසවන්නැ”යි මට වදාළ සේක. උතුරු දෙසට මාගේ ඇස් එසෙවූ කල පූජාසනයේ දොරටුවට උතුරෙන්, ඇතුළු වන තැන, ද්වේෂය උපදවන ඒ නින්දිත රූපය තිබෙනු මම දිටිමි.</verse>
				<verse number="6">උන් වහන්සේ ද කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් කරන දේ එනම්, මාගේ ශුද්ධස්ථානයෙන් මා පලවා හරින පිණිස ඉශ්රායෙල් සෙනඟ මෙහි කරන මහා පිළිකුල්කම් නුඹට පෙනෙන්නේ නැද් ද? මීටත් වඩා පිළිකුල් දෙයක් නැවතත් නුඹ දකින්නෙහි ය”යි මට වදාළ සේක.</verse>
				<verse number="7">උන් වහන්සේ මළුවේ දොරකඩට මා ගෙනා සේක; මම බැලූ විට බිත්තියේ සිදුරක් තිබෙනු දිටිමි.</verse>
				<verse number="8">එකල උන් වහන්සේ කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, බිත්තිය හාරන්නැ”යි මට වදාළ සේක, මම බිත්තිය හෑරූ කල දොරටුවක් දිටිමි.</verse>
				<verse number="9">උන් වහන්සේ කතා කරමින්, “ඇතුළට ගොස් ඔවුන් මෙහි කරන නපුරු පිළිකුල්කම් බලන්නැ”යි මට වදාළ සේක.</verse>
				<verse number="10">මම ඇතුළු වී බැලූ විට, බඩගා යන සියලු ආකාර සතුන්ගේත්, පිළිකුල් තිරිසනුන්ගේත් රූප ද ඉශ්රායෙල් වංශයේ සියලු දේව රූප ද බිත්තියේ වටේට සිතියම් කර තිබෙනු දිටිමි.</verse>
				<verse number="11">ඉශ්රායෙල් වංශයේ ප්‍රජා මූලිකයන්ගෙන් සැත්තෑදෙනෙකු ද ඔවුන් මැද ෂාපාන්ගේ පුත් ජාසනීයා ද සිටිනු දිටිමි. ඔව්හු තම තමාගේ අතේ තම තමාගේ දුම් භාජනය ඇති ව සිටියෝ ය. සුවඳ දුම් ඉහළට නැංඟේ ය.</verse>
				<verse number="12">එවිට උන් වහන්සේ කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශයේ ප්‍රජා මූලිකයන් අන්ධකාරයෙහි එක එකා තම තමාගේ රූප ඇති ගබඩාවල දී කරන දේ දුටුවෙහි ද? කුමක් නිසා ද ‘සමිඳාණන් වහන්සේ අප දකින්නේ නැත; සමිඳාණන් වහන්සේ දේශය අත්හැරිය සේකැ’යි ඔව්හු කියති”යි මට වදාළ සේක.</verse>
				<verse number="13">“ඔවුන් කරන තවත් මහා පිළිකුල්කම් නුඹ නැවත දකින්නෙහි ය”යි උන් වහන්සේ මට වදාළ සේක.</verse>
				<verse number="14">එකල උන් වහන්සේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ උතුරට තිබෙන දොරටුවේ දොරකඩට මා ගෙනා සේක. එවිට ස්ත්‍රීන් තම්මුස් දෙවියා ගැන අඬමින් එහි ඉඳගෙන සිටිනු දිටිමි.</verse>
				<verse number="15">උන් වහන්සේ මට කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, නුඹ මෙය දුටුවෙහි ද? මීටත් වඩා තවත් පිළිකුල්කම් නැවත නුඹ දකින්නෙහි ය”යි මට වදාළ සේක.</verse>
				<verse number="16">උන් වහන්සේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු මළුවට මා ගෙනා සේක. බලන්න, එහි මනුෂ්‍යයන් විසිපස්දෙනෙක් පමණ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරකඩ ද්වාර මණ්ඩපය සහ පූජාසනය අතරේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පිටුපා, නැගෙනහිරට තමන්ගේ මුහුණ හරවාගෙන, නැගෙනහිර දෙස සූර්යයාට නමස්කාර කළෝ ය.</verse>
				<verse number="17">එවිට උන් වහන්සේ කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, නුඹ මෙය දුටුවෙහි ද? ජුදා සෙනඟ දේශය පුරා සැහැසිකම් කරමින් ඔවුන් මෙහි කරන නීච පිළිකුල් ක්‍රියා සුළු දෙයකැ යි ඔව්හු සිතත් ද? ඔව්හු මාගේ කෝපය සංසිඳුවන්න උත්සාහ කරන නමුත්, මා වඩ වඩා ප්‍රකෝප කරති.</verse>
				<verse number="18">එබැවින් මමත් කෝපයෙන් ක්‍රියා කරන්නෙමි. මම දයාව නොදක්වන්නෙමි. මම කරුණා නොකරන්නෙමි. ඔවුන් මහ හඬකින් මාගේ කන්වලට මොරගැසුවත් මම ඔවුන්ට සවන් නොදෙන්නෙමි”යි වදාළ සේක.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">ඉන්පසු උන් වහන්සේ “මේ නගරයට දඬුවම් කිරීමට පත් කර සිටින සියල්ලෙනි, නුඹලා එකිනෙකාගේ අතේ මාරක අවි ආයුධ ඇති ව ළං වන්නැ”යි මහ හඬින් මොරගසනවා මට ඇසිණි.</verse>
				<verse number="2">එවිට උතුරු දෙස තිබෙන ඉහළ දොරටුවේ මාර්ගයෙන් මිනිස්සු හයදෙනෙක් එකිනෙකා තම තමාගේ මාරක ආයුධ අතේ ඇති ව ආහ. ඔවුන් අතරේ ඉඟ පටියේ ලිපි උපකරණ මල්ල එල්ලාගත්, හණ වස්ත්‍රයක් හැඳගත් මිනිසෙක් සිටියේ ය. ඔව්හු ඇතුළු වී ලෝකඩ පූජාසනය ළඟ සිට ගත්හ.</verse>
				<verse number="3">එවිට ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේගේ තේජෝ මහිමය එය නැවතී තිබුණු ස්ථානය වන කෙරුබ්වරුන් කෙරෙන් නැඟී දේව මාලිගාවේ එළිපත්ත ළඟට ගොස් ලිපි උපකරණ මල්ල ඇති ව, හණ වස්ත්‍රයක් හැඳගත් මිනිසාට මොරගැසී ය.</verse>
				<verse number="4">සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “නගරය මුළුල්ලෙහි එනම්, ජෙරුසලම මුළුල්ලෙහි ගොස්, ඒ තුළ කෙරෙන සියලු පිළිකුල්කම් ගැන සුසුම්ලමින්, කෙඳිරිගාන මිනිසුන්ගේ නළල්වල ලකුණක් තබන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="5">මා අසා සිටිය දී උන් වහන්සේ සෙසු අයට කතා කොට, “නුඹලා ඔහු පසුපස නගරය තුළට ගොස් එයට පහර දෙන්න. ඔවුන් දෙස දයාවෙන් නොබලන්න; ඔවුන්ට කරුණා නොකරන්න.</verse>
				<verse number="6">මාගේ ශුද්ධස්ථානයෙන් පටන්ගෙන මහල්ලන් ද තරුණයන් ද තරුණියන් ද බාලයන් ද ස්ත්‍රීන් ද මරා විනාශ කර දමන්න. එහෙත්, නළලේ ලකුණ ඇති කිසිවෙකුට අත නොගසන්නැ”යි වදාළ සේක. එවිට ඔව්හු දේව මාලිගාවේ සිටි මහලු අයගෙන් එසේ විනාශ කිරීමට පටන්ගත්තෝ ය.</verse>
				<verse number="7">උන් වහන්සේ කතා කරමින්, “නුඹලා දේව මාලිගාව අපවිත්‍ර කරමින්, එය මළකඳන්වලින් පුරවා පිටත යන්නැ”යි ඔවුන්ට වදාළ සේක. ඔව්හු පිටතට ගොස්, නුවර ඇතුළෙහි සෙනඟට පහර දුන්නෝ ය.</verse>
				<verse number="8">ඔවුන් පහර දෙද්දී මම පමණක් නැවතී සිටියෙමි. මම ද මුණින්තළා වී, “අහෝ, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස! ඔබේ කෝපය ජෙරුසලම පිට වගුරුවන අතර, ඉශ්රායෙල්වරුන්ගේ ඉතිරි ව සිටින සියල්ලන් ම ඔබ නාස්ති කරන සේක් දැ”යි මොරගසා ඇසුවෙමි.</verse>
				<verse number="9">එවිට උන් වහන්සේ උත්තර දෙමින්, “ඉශ්රායෙල් සහ ජුදා සෙනඟගේ අපරාධ ඉමහත් ය; දේශය ලෙයින් පිරී තිබේ. නුවර ද අයුක්තියෙන් පිරී තිබේ. මන්ද, සමිඳාණන් වහන්සේ දේශය අත්හැරිය සේක’ කියා ද ‘උන් වහන්සේ නොදක්නා සේක’ කියා ද ඔව්හු කියති.</verse>
				<verse number="10">එබැවින් මම දයාව දක්වන්නේ වත්, කරුණා කරන්නේ වත් නැති ව, ඔවුන්ගේ කල්ක්‍රියාවට විපාකය ඔවුන්ගේ හිස් පිට පමුණුවන්නෙමි”යි මට වදාළ සේක.</verse>
				<verse number="11">එවිට හණ වස්ත්‍ර හැඳගෙන තමාගේ පැත්තේ ලිපි උපකරණ මල්ල ඇති ව සිටි මනුෂ්‍යයා හැරී අවුත්, “ඔබ වහන්සේ අණ කළ ලෙස කෙළෙමි”යි වාර්තා කෙළේ ය.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">මම බැලූ විට, කෙරුබ්වරුන්ගේ හිස්වලට ඉහළින් නීලමාණික්‍යයන් වැනි සිංහාසනයක රූපයක් දිටිමි.</verse>
				<verse number="2">උන් වහන්සේ හණ වස්ත්‍ර හැඳගෙන සිටි මනුෂ්‍යයාට කතා කොට, “නුඹ කෙරුබ්වරුන්ට යටින් කරකැවෙන චක්‍ර අතරට ඇතුළු වී, කෙරුබ්වරුන් අතරේ තිබෙන ගිනි අඟුරුවලින් නුඹේ දෑත පුරවාගෙන නුවර පිට විසුරුවා හරින්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="3">ඔහු මා බලා සිටිය දී ඇතුළු විය. ඒ මනුෂ්‍යයා ඇතුළු වන විට කෙරුබ්වරු මාලිගාවේ දකුණු පැත්තෙහි සිටියෝ ය. ඇතුළු මළුව ද වලාකුළෙන් පිරුණේ ය.</verse>
				<verse number="4">එවිට සමිඳාණන් වහන්සේගේ තේජස කෙරුබ්වරුන් කෙරෙන් නැඟී එළිපත්ත මතුයෙහි නැවතුණේ ය. මාලිගාව වලාකුළෙන් පිරුණේ ය. මළුව ද සමිඳාණන් වහන්සේගේ තේජසේ දීප්තියෙන් පිරුණේ ය.</verse>
				<verse number="5">කෙරුබ්වරුන්ගේ පියාපත්වල ශබ්දය ද සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ කතා කරන හඬ මෙන් පිටත මළුව දක්වා ඇසුණේ ය.</verse>
				<verse number="6">කරකැවෙන චක්‍ර අතරෙන් ද කෙරුබ්වරුන් අතරෙන් ද ගිනි අරගන්න කියා හණ වස්ත්‍ර හැඳගෙන සිටි මනුෂ්‍යයාට උන් වහන්සේ අණ කළ විට, ඔහු ඇතුළු වී චක්‍රයක් ළඟ සිටගත්තේ ය.</verse>
				<verse number="7">කෙරුබ්වරයෙක් කෙරුබ්වරුන් අතරේ තිබුණ ගින්නට කෙරුබ්වරුන් අතරෙන් තමාගේ අත දිගු කොට, එයින් ගිනි රැගෙන හණ වස්ත්‍ර හැඳගෙන සිටි තැනැත්තාගේ දෑතට දුන්නේ ය. ඔහු ද එය රැගෙන පිටතට ගියේ ය.</verse>
				<verse number="8">කෙරුබ්වරුන්ගේ පියාපත් යට මනුෂ්‍ය අතක ස්වරූපයක් පෙනුණේ ය.</verse>
				<verse number="9">මම බැලූ විට මෙසේ දිටිමි. කෙරුබ්වරුන් ළඟ රෝද සතරක් එනම්, එක කෙරුබ්වරයෙකු ළඟ එක රෝදයක් බැගින් තිබිණි. රෝදවල පෙනීම ද රන් කාන්තියක දිස්නය වැනි ය.</verse>
				<verse number="10">ඒ සතරට ම තිබුණේ එකාකාර ස්වරූපයකි. ඒවායේ පෙනීම වනාහි රෝදයක් තුළ රෝදයක් තිබෙන්නාක් මෙන් ය.</verse>
				<verse number="11">කෙරුබ්වරුන් සතර දිශාවෙන් එක දිශාවකට ගමන් ගත් විට ඔව්හු යන මාර්ගයෙන් අන් අතකට නොහැරුණෝ ය. මාර්ගයෙන් පිට නොපැන ඔවුන්ගේ හිස් හැරී තිබුණ දෙසට ඔව්හු කෙළින් ම ගමන් කළහ.</verse>
				<verse number="12">ඔවුන්ගේ මුළු ශරීරවල ද ඔවුන්ගේ පිටවල ද අත්වල ද පියාපත්වල ද රෝදවල ද වටකර පුරා ම ඇස් තිබුණේ ය. ඒ සතර දෙනාටත්, ඔවුන්ගේ රෝදවලටත් එසේ ම ඇස් තිබුණේ ය.</verse>
				<verse number="13">ඒ රෝදවලට ‘භ්‍රමණ චක්‍ර’යි නම් තබනු මට ඇසුණේ ය.</verse>
				<verse number="14">එක් එක් කෙරුබ්වරයාට මුහුණු සතරක් විය. පළමු වන මුහුණ කෙරුබ්වරයෙකුගේ මුහුණකි, දෙ වන මුහුණ මනුෂ්‍ය මුහුණකි, තුන් වන එක සිංහ මුහුණකි, සතර වන එක රාජාලි මුහුණකි.</verse>
				<verse number="15">කෙරුබ්වරු ද ඉහළට නැංඟෝ ය. ඔව්හු වනාහි කෙබාර් ගඟ ළඟ දී මා දුටු ජීවමාන සත්ත්වයෝ ය.</verse>
				<verse number="16">තවද, කෙරුබ්වරුන් යන විට රෝද ද ඔවුන් කැටුව ගියේ ය. පොළොව මතුපිටින් නඟින්න කෙරුබ්වරුන් තමන්ගේ පියාපත් විදහාගත් විට රෝද ඔවුන් වෙතින් ඉවත් නො වී ය.</verse>
				<verse number="17">ඔවුන් නැවතුණු කල ඒවාත් නැවතුණේ ය. ඔවුන් නඟින කල ඒවාත් ඔවුන් සමඟ නැංඟේ ය. මන්ද, සත්ත්වයෝ ඒවා පාලනය කළහ.</verse>
				<verse number="18">එවිට සමිඳාණන් වහන්සේගේ තේජස මාලිගාවේ එළිපත්ත මතුපිටින් පිටතට ගොස් කෙරුබ්වරුන්ට ඉහළින් පිහිටියේ ය.</verse>
				<verse number="19">කෙරුබ්වරු ඉදිරියට යමින් සිය පියාපත් විදහා පා මා බලා සිටිය දී පොළොවෙන් ඉහළට නැංඟෝ ය. රෝදත් ඔවුන් සමඟ ම නැංඟේ ය. ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ නැගෙනහිර දොරකඩ සිටියෝ ය. ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ තේජස ද ඔවුන්ට උඩින් තිබුණේ ය.</verse>
				<verse number="20">මොවුහු වනාහි කෙබාර් ගංගාව ළඟ දී ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට යටින් සිටිනු මා දුටු සත්ත්වයෝ ය. ඔවුන් කෙරුබ්වරුන් බව මම දැනගතිමි.</verse>
				<verse number="21">එක එකාට මුහුණු සතරක් බැගින් ද එක එකාට පියාපත් සතරක් බැගින් ද ඔවුන්ගේ පියාපත් යට මනුෂ්‍ය අත් වැනි ස්වරූපයක් ද තිබුණේ ය.</verse>
				<verse number="22">ඔවුන්ගේ මුහුණුවල පෙනීමත් හරියට ම මා කෙබාර් ගඟ ළඟ දී දුටු මුහුණුවල පෙනීමට සමාන ය. ඔව්හු එකිනෙකා කෙළින් ම ඉස්සරහට ගියහ.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">දේවාත්මානුභාවය මා ඔසවාගෙන ගොස් නැගෙනහිර දෙසට තිබෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ නැගෙනහිර දොරටුවට මා පැමිණෙව්වේ ය. බලන්න, මනුෂ්‍යයෝ විසිපස්දෙනෙක් දොරකඩ සිටියෝ ය. ඔවුන් අතරේ සෙනඟගේ අධිපතීන් වන අස්සුර්ගේ පුත් ජාසිනියා ද බෙනායාගේ පුත් පෙලතියා ද සිටිනු දිටිමි.</verse>
				<verse number="2">උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, මේ නුවර පුරා දුෂ්ටකම් යෝජනා කරන, නපුරු මන්ත්‍රණ යොදන මනුෂ්‍යයෝ මොවුහු ය.</verse>
				<verse number="3">මොවුහු කතා කොට, ‘ගෙවල් ගොඩනඟන්න කාලය ළං වී නැද් ද? මේ නුවර කල්දේරමක් වැනි ය; අපි එහි පිසෙන මාංසය වැනි ය; එනම් අපට නුවර තුළ තරමක ආරක්ෂාව ඇතැ’යි කියති.</verse>
				<verse number="4">එබැවින් ඔවුන්ට විරුද්ධ ව දිවැස් වැකි කියන්න, මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියන්න.”</verse>
				<verse number="5">එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය මා කෙරෙහි පැමිණ, මට කතා කරමින් මෙසේ වදාළ සේක: “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න: ‘අනේ ඉශ්රායෙල් වංශය, නුඹලා මෙසේ සිතන්නහු ය; නුඹලාගේ සිත්වල හටගන්න අදහස් දනිමි.</verse>
				<verse number="6">නුඹලා මේ නුවර තුළ බොහෝ සේ මිනී මරා එහි වීදි මළකඳන්වලින් පුරවා තිබේ.</verse>
				<verse number="7">“ ‘එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මාංසය වශයෙන් හැඳින්වෙන්නේ නගරයෙහි නුඹලා විසින් බාවනු ලැබ ඇති, නුඹලා අතින් මැරුම්කනු ලැබූ අය ය; කල්දේරම වශයෙන් හැඳින්වෙන්නේ නගරය ය. එහෙත්, නුඹලා මෙයින් පිටත ගෙනෙනු ලබන්නහු ය.</verse>
				<verse number="8">නුඹලා කඩුවට බිය ව සිටියහු ය. මම ද නුඹලා පිට කඩුව පමුණුවන්නෙමි යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="9">මම නුඹලා පිටතට ගෙනවුත් විදේශීන් අතට නුඹලා පාවා දී, මාගේ විනිශ්චයයන් නුඹලාට විරුද්ධ ව ඉෂ්ට කරන්නෙමි.</verse>
				<verse number="10">නුඹලා කඩුවෙන් නසින්නහු ය. ඉශ්රායෙල් දේශ සීමාවේ දී මම නුඹලා විනිශ්චය කරන්නෙමි; එසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.</verse>
				<verse number="11">මේ නුවර නුඹලාගේ කල්දේරම නොවන්නේ ය. නුඹලා එය තුළ මාංසය ද නොවන්නහු ය. ඉශ්රායෙල් දේශ සීමාවේ දී මම නුඹලා විනිශ්චය කරන්නෙමි. එවිට මා ස්වාමීන් බව නුඹලා දැනගන්නහු ය.</verse>
				<verse number="12">එසේ මාගේ නියෝග ප්‍රකාර නොහැසිර, මාගේ පණත් ඉෂ්ට නොකොට, නුඹලා අවට සිටින ජාතීන්ගේ පණත් ප්‍රකාරයට ක්‍රියා කළහු ය.’ “</verse>
				<verse number="13">මා විසින් එසේ දිවැස් වැකි කියද්දී බෙනායාගේ පුත් පෙලතියා මැරී වැටුණේ ය. එවිට මම මුණින් වැටී, “අනේ! මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, ඉතිරි ව සිටින ඉශ්රායෙල්වරුන් ඔබ නැත්තට ම නැතිකරන සේක් දැ”යි මහා හඬින් මොරගසා ඇසීමි.</verse>
				<verse number="14">තවද, සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="15">“මනුෂ්‍ය පුත්‍රය, ජෙරුසලමේ සිටින අය නුඹ ගැනත්, විප්‍රවාසගත ව සිටින නුඹේ ඥාති ඉශ්රායෙල් සහෝදරයන් ගැනත් කතා කරමින්, ‘දෙවියන් වහන්සේ කෙරෙන් නුඹලා පිටුවහල් කර ඇත; උරුමයක් වශයෙන් දේශය දෙන ලද්දේ අපට යැ’යි කියති.</verse>
				<verse number="16">“එබැවින්, ‘දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න: මා විජාතීන් අතරට ඔවුන් පලවා හැර, දුර දේශවල ඔවුන් විසිර වූ නමුත්, ඔවුන් පැමිණ සිටින ඒ දේශයන්හි මම ස්වල්ප කලකට ඔවුන් සමඟ වැඩ සිටින්නෙමි.’</verse>
				<verse number="17">එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම ජාතීන් අතරෙන් නුඹලා එකතු කර, නුඹලා විසිර සිටින දේශවලින් නුඹලා රැස් කොට ඉශ්රායෙල් රට නුඹලාට දෙන්නෙමි.</verse>
				<verse number="18">ඔවුන් එහි පැමිණ එහි සියලු අශික්ෂිත දේ ද එහි සියලු පිළිකුල්කම් ද එතැනින් පහකරනු ඇත.</verse>
				<verse number="19">මම ඔවුන්ට ඒකමතික සිතක් දෙන්නෙමි, අලුත් ආධ්‍යාත්මික බලයක් ද නුඹලා තුළ තබන්නෙමි.</verse>
				<verse number="20">ඔවුන් මාගේ පණත් ප්‍රකාර හැසිර, මාගේ නියෝග රක්ෂා කොට පවත්වන පිණිස, ඔවුන්ගේ ගල් සිත පහකොට මුදු මොළොක් සිතක් ඔවුන්ට දෙන්නෙමි. මෙසේ ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මම ද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි.</verse>
				<verse number="21">එහෙත්, තමන්ගේ අශික්ෂිතකම් ද තමන්ගේ පිළිකුල්කම් ද කෙරෙහි සිත ඇදී ගොස් ඇති අයට ඔවුන්ගේ ක්‍රියාවල විපාක විඳින්නට සලස්වන්නෙමි’ මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”</verse>
				<verse number="22">එකල කෙරුබ්වරු තමන්ගේ පියාපත් එසෙවුවෝ ය. රෝදත් ඔවුන් එක් ව ම තිබුණේ ය. ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ තේජස ඔවුන්ට ඉහළින් තිබුණේ ය.</verse>
				<verse number="23">සමිඳාණන් වහන්සේගේ තේජස ඉහළට නැඟී නගරයෙන් පිට වී ගොස් නැගෙනහිරින් තිබෙන කන්ද උඩ පිහිටියේ ය.</verse>
				<verse number="24">එවිට ආත්මානුභාවය මා ඔසවා කල්දියාවෙහි විප්‍රවාසගත ව සිටින අය වෙත පැමිණෙව්වේ ය. මේ සියල්ල සිදු වූයේ දේවාත්මානුභාවය විසින් එවන ලද දර්ශනයක් මඟිනි. මෙසේ මා දුටු දර්ශනය මා වෙතින් පහ ව ගියේ ය.</verse>
				<verse number="25">මම ද සමිඳාණන් වහන්සේ මට පෙන්වූ සියලු දේ විප්‍රවාසගත ව සිටි අයට කීවෙමි.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මා වෙත පැමිණ මෙසේ කී ය:</verse>
				<verse number="2">“මනුෂ්‍ය පුත්‍රය, නුඹ වාසය කරන්නේ කැරලිකාර වංශයක් අතරෙහි ය. දැකීමට ඇස් තිබෙන නමුත්, ඔවුන්ට පෙනෙන්නේ නැත. ඇසීමට කන් තිබෙන නමුත්, ඇසෙන්නේ නැත. මක්නිසා ද ඔව්හු කැරලිකාර වංශයක් ය.</verse>
				<verse number="3">“ඒ නිසා, මනුෂ්‍ය පුත්‍රය, විප්‍රවාසයට යන්නෙකු මෙන් මාර්ගෝපකරණ සූදානම් කරගෙන, දවාලෙහි ඔවුන් බලා සිටිය දී පිටත් වන්න; ඔවුන් බලා සිටිය දී නුඹ සිටින ස්ථානයේ සිට අන් ස්ථානයකට පිටත් ව යන්න. ඔවුන් කැරලිකාර වංශයක් වන නමුත්, සමහර විට ඔවුන් එහි තේරුම සිතට ගනු ඇත.</verse>
				<verse number="4">නුඹේ බඩු විප්‍රවාසිකයෙකුගේ මාර්ගෝපකරණ මෙන් දවාලෙහි ඔවුන් බලා සිටිය දී පිටතට ගෙන, මිනිසුන් විප්‍රවාසයට පිටත් ව යන්නාක් මෙන් සවස ඔවුන් බලා සිටිය දී පිටත් වන්න.</verse>
				<verse number="5">නුඹ ඔවුන් බලා සිටිය දී බිත්තිය හාරා, ඒ තුළින් බඩු පිටතට ගෙන යන්න.</verse>
				<verse number="6">නුඹ ඔවුන් බලා සිටිය දී ඒවා කරට ගෙන, අඳුරු වේලේ පිටතට ගෙන යන්න. යන මඟ නොපෙනෙන පිණිස නුඹේ මුහුණ වසාගන්න. මක්නිසා ද මම ඉශ්රායෙල් වංශයට නුඹ සංකේතයක් කර ඇත්තෙමි.”</verse>
				<verse number="7">මම ද මට අණ කළ ලෙස කෙළෙමි. මාගේ බඩු මාර්ගෝපකරණ මෙන් දවාලේ පිටතට ගෙන, සවස මාගේ අතින් බිත්තිය හාරා, අඳුරු වූ කල්හි ඔවුන් බලා සිටිය දී ඒවා කරට ගෙන පිටතට ගෙනාවෙමි.</verse>
				<verse number="8">පසු දා උදේ සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="9">“මනුෂ්‍ය පුත්‍රය, කැරලිකාර වංශය වන ඉශ්රායෙල් වංශය ‘නුඹ කුමක් කරන්නෙහි දැ’යි නුඹට කීවා නොවේ ද?</verse>
				<verse number="10">‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්න. ‘මේ දිව්‍ය ප්‍රකාශනය ජෙරුසලමේ අධිපතියා සහ එහි තුළ සිටින මුළු ඉශ්රායෙල් වංශය ගැන ය.’</verse>
				<verse number="11">මෙසේ කියන්න: ‘මම නුඹලාට සංකේතයක් වෙමි. මා කළ ලෙස ඔවුන්ට ද සිද්ධ වන්නේ ය. ඔව්හු ද පිටත් ව අන් රටක විප්‍රවාසයට යන්නෝ ය.’</verse>
				<verse number="12">ඔවුන් අතරේ සිටින අධිපතියා ද බඩු කරට ගෙන, අඳුරු වේලේ පිටතට එනු ඇත. ඔවුන් පවුරු හාරා එමඟින් පිටත යනු අසා ඔහු තමාගේ ඇස්වලින් බිම නොදකින පිණිස තමාගේ මුහුණ වසාගනු ඇත.</verse>
				<verse number="13">මාගේ දැල ඔහු පිට හෙළන්නෙමි. ඔහු මාගේ මලපතට අසු වන්නේ ය. මම කල්දිවරුන්ගේ දේශය වන බබිලෝනියට ඔහු ගෙන යන්නෙමි. එහෙත්, ඔහු එය නොදකින්නේ ය. ඔහු එහි දී මැරෙනු ඇත.</verse>
				<verse number="14">ඔහුට උපකාර කරන පිණිස ඔහු වටකර සිටින සියල්ලන් ද ඔහුගේ හමුදා ද මම දස දෙස සුළඟෙහි විසුරුවා, කඩුව ගෙන ඔවුන් ලුහුබැඳ යන්නෙමි.</verse>
				<verse number="15">“මා ඔවුන් ජාතීන් අතරට පන්නාදමා විදේශවල විසුරුවාදැමූ කල්හි, මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.</verse>
				<verse number="16">එහෙත්, මම ඔවුන්ගෙන් ස්වල්ප දෙනෙකු කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද ගළවා ඉතිරි කරන්නෙමි. මෙසේ කරන්නේ, ඔවුන් පැමිණෙන දේශවල සෙනඟට ඔවුන්ගේ සියලු පිළිකුල්කම් ඔවුන් ප්‍රකාශ කරන පිණිස ය. එවිට මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”</verse>
				<verse number="17">තවද, සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="18">“මනුෂ්‍ය පුත්‍රය, නුඹේ කෑම වෙවුළමින් කා, චංචලකම ද භීතිය ද ඇති ව වතුර බී,</verse>
				<verse number="19">දේශයේ සෙනඟට මෙසේ කියන්න: ‘ඉශ්රායෙල් රටෙහි සිටින ජෙරුසලමේ වැසියන් ගැන මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. ඔව්හු තමන්ගේ කෑම භීතියෙන් කා, තමන්ගේ වතුර කනස්සල්ලෙන් බොන්නෝ ය. මෙසේ වන්නේ, ඔවුන්ගේ දේශයේ වාසය කරන සියල්ලන්ගේ සැහැසිකම නිසා ඒ දේශය සහමුලින් ම පාළු වන පිණිස ය.</verse>
				<verse number="20">වැසියන්ගෙන් ගහණ වූ නගර නාස්ති වී දේශය පාළු වන්නේ ය. මෙසේ මා සමිඳාණන් බව නුඹලා දැනගන්නහු ය.’ “</verse>
				<verse number="21">සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="22">“මනුෂ්‍ය පුත්‍රය, ‘කාලය ගෙවී යන්නේ ය; දර්ශන ව්‍යර්ථ වන්නේ ය’ කියා ඉශ්රායෙල් රටෙහි නුඹලා අතරේ ව්‍යවහාර වන මේ ප්‍රස්තාව පිරුළේ තේරුම කුමක් ද?</verse>
				<verse number="23">‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්න. ‘මම මේ ප්‍රස්තාව පිරුළ කීම නවත්වන්නෙමි; එය ප්‍රස්තාව පිරුළක් වශයෙන් ඉශ්රායෙල්හි තවත් ව්‍යවහාර නොවන්නේ ය.’ එසේ ය, ඒ දවස ළං වී ඇති බව ද සියලු දර්ශන ඉටු වන බව ද ඔවුන්ට කියන්න.</verse>
				<verse number="24">“මන්ද, තවත් කිසි ව්‍යාජ දර්ශනයක් වත්, ඉච්චාකාර දිවැස් කීමක් වත් ඉශ්රායෙල් සෙනඟ අතරෙහි නොවන්නේ ය.</verse>
				<verse number="25">කුමක් නිසා ද, මම සමිඳාණන් වහන්සේ ය; මා කී දේ කීවා ම ය. එය තවත් පමා නොවී ඉෂ්ට වනු ඇත. එසේ ය, ‘එම්බා කැරලිකාර වංශය! මම නුඹලාගේ ජීවිත කාලයේ දී ම මා පැවසූ දේ ඉටු කරන්නෙමි’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”</verse>
				<verse number="26">නැවත සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="27">“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් සෙනඟ කතා කොට, ‘නුඹ දකින දර්ශන ඉෂ්ටවන්න බොහෝ දවස් ගත වන්නේ ය’ කියා ද ‘නුඹ දිවැස් වැකි කියන්නේ දුර අනාගත කාල ගැන ය’ කියා ද කියති.</verse>
				<verse number="28">එබැවින් ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්න. ‘මාගේ කිසි වචනයක් තවත් ප්‍රමාද නොවේ; මා කී දේ කීවා ම ය; එය ඉටු වන්නේ ම යැ’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියන ඉශ්රායෙල්හි දිවැසිවරුන්ට විරුද්ධ ව නුඹ දිවැස් වැකි කියමින්, සිය සිතින් දිවැස් වැකි මවා කියන්නන්ට මෙසේ කියන්න: සමිඳාණන් වහන්සේගේ පණිවුඩය අසන්න.</verse>
				<verse number="3">“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක. කිසිවක් නොදැක, තමන්ගේ ම හැඟීම් අනුව දිවැස් කියන මෝඩ දිවැසිවරුන්ට වන විපතක මහත!</verse>
				<verse number="4">අහෝ ඉශ්රායෙල්වරුනි! නුඹලාගේ දිවැසිවරු පාළු තැන්වල සිටින සිවලුන් හා සමාන වූ හ.</verse>
				<verse number="5">නුඹලා කපොලු මුර කෙළේ වත්, සමිඳාණන් වහන්සේගේ දවසේ දී ඇති වන සටනේ දී සවි සම්පන්න ව සිටීමට නුඹලා ඉශ්රායෙල් ජාතිය වටකර පවුරක් ගොඩනැඟුවේ වත් නැත.</verse>
				<verse number="6">සමිඳාණන් වහන්සේ ඔවුන් නොඑවූ නමුත්, ඔව්හු, ‘සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි කියති. ඔවුන්ගේ දර්ශන බොරු ය; ඔවුන්ගේ පේන කීම් මුසාවෝ ය. එහෙත්, ඒවා ඉටු වේ යයි ඔව්හු බලාපොරොත්තු වෙති.</verse>
				<verse number="7">මා කතා නොකළ නමුත්, සමිඳාණන් වහන්සේ වදාරන සේකැ යි නුඹලා කියන විට නුඹලා දුටුවේ නිෂ්ඵල දර්ශනයක් නොවේ ද? පැවසුවේ බොරු පේන කීමක් නොවේ ද?</verse>
				<verse number="8">“එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹලා නිෂ්ඵල දේ කියන්නටත්, බොරු දර්ශන දකින්නටත් යෙදුණ නිසා, මෙන්න, මම නුඹලාට විරුද්ධ ව සිටිමි.</verse>
				<verse number="9">මාගේ බලවත් හස්තය නිෂ්ඵල දර්ශන දකින බොරු දිවැස් කියන දිවැසිවරුන්ට විරුද්ධ ව ඔසවමි. ඔව්හු මාගේ සෙනඟගේ සභාවේ නොසිටින්නෝ ය; ඉශ්රායෙල්වරුන්ගේ වංශාවලියේ ලියනු නොලබන්නෝ ය. ඉශ්රායෙල් රටට ඇතුළු නොවන්නෝ ය; මෙසේ මා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.</verse>
				<verse number="10">“මක්නිසා ද සාමය නැති කල්හි ‘සාමය’යි ඔව්හු මාගේ සෙනඟ මුළා කරවූවෝ ය; සෙනඟ තාප්පයක් ගොඩනඟන විට ඔව්හු එහි පදම් නොකළ බදාම ගාති.</verse>
				<verse number="11">පදම් නොකළ බදාම දැමූ අයට මෙය කියන්න. ධාරානිපාත වැස්සක් එන්නේ ය; මහා ගල් වර්ෂාවක් කඩා වැටෙනු ඇත; චණ්ඩ කුණාටුවක් කඩා බිඳ එන්නේ ය; එය වැටෙන්නේ ය.</verse>
				<verse number="12">බලන්න, තාප්පය වැටුණු කල, ‘නුඹලා ගෑවා වූ බදාම කොයි දැ’යි මනුෂ්‍යයෝ නුඹලාට නොකියත් ද?</verse>
				<verse number="13">“එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. එය විනාශ කරන පිණිස, මම උරණ වී චණ්ඩ කුණාටුවක් ද කෝප වී ධාරානිපාත වැස්සක් ද උදහස් වී ගල් වර්ෂා ද එවන්නෙමි.</verse>
				<verse number="14">මෙසේ නුඹලා පදම් නොකළ බදාම ගෑවා වූ තාප්පය කඩාදමා, මම එහි අත්තිවාරම මතු වන හැටියට එය බිම හෙළන්නෙමි. එය වැටෙනු ඇත. නුඹලා ද ඊට යට වී විනාශ වනු ඇත. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.</verse>
				<verse number="15">“මෙසේ මාගේ කෝපය තාප්පය පිටත්, එහි පදම් නොකළ බදාම ගෑ අය පිටත් වගුරුවා, ‘තාප්පය නැත, එහි බදාම ගෑවා වූ අයත් නැතැ’යි නුඹලාට කියන්නෙමි.</verse>
				<verse number="16">ඔව්හු නම්, ජෙරුසලම ගැන දිවැස් වැකි කියමින් ‘සාමය නැති කල්හි අප උදෙසා සාම දර්ශන දකින ඉශ්රායෙල් දිවැසිවරුය’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”</verse>
				<verse number="17">තවද, සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, සිය සිතින් දිවැස් වැකි මවා කියන සෙනඟගේ දූවරුන්ට විරුද්ධ ව නුඹේ මුහුණ යොමා, ඔවුන්ට විරුද්ධ ව දිවැස් වැකි කියමින්,</verse>
				<verse number="18">‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක: මිනිසුන් තමන් බලයට යටත් කරගැනීම සඳහා අතේ බඳින පිණිස සියලු දෙනාට යන්ත්‍ර මන්ත්‍ර ජප කරන, හිසේ දමාගන්න පිණිස නන්වැදෑරුම් හිස් වැසුම් මිනිසුන්ට සාදා දෙන ස්ත්‍රීන්ට වන විපතක මහත! නුඹලා මාගේ සෙනඟගේ ප්‍රාණ නාස්ති කරමින්, නුඹලාගේ ම ප්‍රාණ බේරාගන්නට නුඹලාට පුළුවන් ද?</verse>
				<verse number="19">බොරු බස් අසන මාගේ සෙනඟට නුඹලා බොරු කීමෙන් ද මරණය විඳින්න සුදුසු නැති අය මරමින් ද ජීවත් වීමට සුදුසු නැති අයට ජීවත් වීමට ඉඩ දෙමින් ද නුඹලා යව අහුරු හා රොටි කෑලි ලබාගැනීමට මාගේ සෙනඟ අතරේ මා කෙලෙසුවහු ය.</verse>
				<verse number="20">“ ‘එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මිනිසුන්ගේ ජීවිතයත්, මරණයත් කෙරේ බලය පාන පිණිස නුඹලා භාවිත කරන මන්ත්‍ර නූල්වලට මම ද්වේෂ කරමි. මම ඒවා නුඹලාගේ අත්වලින් උදුරාදමා, නුඹලා දමනය කරගෙන සිටින අය නිදහස් කර හරින්නෙමි.</verse>
				<verse number="21">නුඹලාගේ හිස් වැසුම් මම ඉරාදමා, මාගේ සෙනඟ නුඹලාගේ අතින් මුදන්නෙමි. ඔවුන් යටත් කර ගැනීමට නුඹලාගේ අතට අසුවන්නට ඉඩ නොදෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.</verse>
				<verse number="22">“ ‘ධර්මිෂ්ඨයන් මා අධෛර්ය නොකළ නමුත්, නුඹලා බොරු කියා ඔවුන් අධෛර්ය කළහු ය. දිවි ගළවාගන්න පිණිස නපුරු මිනිසුන්ට ඔවුන්ගේ නපුරුකම් අත්හරින්නට ඉඩ නොදී ඔවුන්ට දිරි දුන්නහු ය.</verse>
				<verse number="23">නුඹලා තවත් නිෂ්ඵල දර්ශන නොදකින්නහු ය. පේන නොකියන්නහු ය. මම ද මාගේ සෙනඟ නුඹලාගේ අතින් මුදන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය’යි කියන්න.”</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">එකල්හි ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන්ගෙන් සමහරු මා ළඟට අවුත් මා ඉදිරියෙහි හිඳ ගත්තෝ ය.</verse>
				<verse number="2">එවිට සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="3">“මනුෂ්‍ය පුත්‍රය, මේ මනුෂ්‍යයන් තමන්ගේ දේව රූපවලට සිය සිත් යොමු කර ඇත; ඔවුන්ගේ වැටීමට හේතු වන පාපිෂ්ඨ දේ දෙසට නෙත් යොමා ඇත. මාගෙන් විමසන්න ඔවුන්ට කොහෙත් ම ඉඩ දිය යුතු ද?</verse>
				<verse number="4">“එබැවින් ඔවුන් සමඟ කතා කර ඔවුන්ට කියන්න, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. දේව රූපවලට සිය සිත් යොමු කරගත්, ඔවුන්ගේ වැටීමට හේතු වන පාපිෂ්ඨ දෙයට නෙත් යොමු කරගත් යම් ඉශ්රායෙල් ජාතිකයෙකු දිවැසිවරයා වෙත පැමිණියහොත්, ඔහුගේ දේව රූප බහුල වීම නිසා ස්වාමීන් වන මම ම ඔහුට පිළිතුරු දෙන්නෙමි.</verse>
				<verse number="5">මෙසේ කරන්නේ, මුළු ඉශ්රායෙල් වංශය තමන්ගේ දේව රූප කරණකොටගෙන මාගෙන් වෙන් ව ගිය බැවින් ඔවුන් ආපසු මා වෙත දිනාගන්න පිණිස ය.’</verse>
				<verse number="6">“එබැවින් ඉශ්රායෙල් වංශයට මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. හැරී එන්න; නුඹලාගේ දේව රූප ප්‍රතික්ෂේප කරන්න; නුඹලාගේ සියලු පිළිකුල් ක්‍රියා අත් හරින්න.</verse>
				<verse number="7">“කුමක් නිසා ද, ඉශ්රායෙල් වංශයෙන් හෝ ඉශ්රායෙල්වරුන් අතරෙහි වාසය කරන විදේශීන්ගෙන් හෝ මාගෙන් වෙන් වී තමාගේ දේව රූපවලට නමස්කාර කරමින්, තමාගේ වැටීමට හේතු වන දේ කෙරෙහි සිත් යොමු කරමින් සිටින යම් කිසිවෙකු දිවැසිවරයෙකු මඟින් මාගෙන් කරුණු විමසන්න පැමිණි කල්හි සමිඳාණන් වහන්සේ වන මම ම ඔහුට පෞද්ගලික වශයෙන් පිළිතුරු දෙන්නෙමි.</verse>
				<verse number="8">මම ඒ මනුෂ්‍යයාට විරුද්ධ ව මුහුණ දෙන්නෙමි. ආදර්ශයක් හා පාඩමක් වශයෙන් මම ඔහු මාගේ සෙනඟ අතරෙන් නෙරපා දමන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.</verse>
				<verse number="9">“දිවැසිවරයා රැවටී කතා කරයි නම්, ඒ දිවැසිවරයා රවටා ඇත්තේ සමිඳාණෝ වන මම ය. මම ඔහුට විරුද්ධ ව මාගේ හස්තය දිගු කොට, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් අතරෙන් ඔහු නෙරපාදමමි.</verse>
				<verse number="10">ඔවුන් තමන්ගේ අයුතුකමේ විපාකය විඳිනු ඇත. දිවැසිවරයාගේ වරදත්, ඔහුගෙන් විමසන්නාගේ වරදත්, එක හා සමාන ව බරපතල වන්නේ ය.</verse>
				<verse number="11">මෙසේ වන්නේ, ඉශ්රායෙල් වංශය මා වෙතින් තවත් මුළා ව නොගොස්, තමන්ගේ සියලු අපරාධවලින් තවත් නොකෙලෙසී ඔවුන් මාගේ සෙනඟ වන පිණිසත්, මා ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන පිණිසත් ය. මෙසේ පවසන්නේ දෙවියන් වහන්සේ ය.”</verse>
				<verse number="12">සමිඳාණන් වහන්සේ තවදුරටත් මට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="13">“මනුෂ්‍ය පුත්‍රය, යම් දේශයක් ද්‍රෝහිකම් කරමින් මට විරුද්ධ ව පව් කරන්නේ නම්, මම ඊට විරුද්ධ ව මාගේ අත දිගු කොට එහි කෑම තොග නැති කරදමා, ඊට විරුද්ධ ව සාගතය යවා, මනුෂ්‍යයන් සහ මෘගයන් විනාශ කරදමන්නෙමි.</verse>
				<verse number="14">එකල්හි නෝවා ද දානියෙල් ද ජෝබ් ද යන මේ මනුෂ්‍යයන් තිදෙනා එහි සිටියත්, ඔවුන්ට තමන්ගේ ධර්මිෂ්ඨකමින් ගළවාගත හැකි වන්නේ ඔවුන්ගේ ම ප්‍රාණ පමණකි.</verse>
				<verse number="15">චණ්ඩ මෘගයන්ට භීතියෙන් කිසිවෙකුට දේශයෙහි ගමන් කළ නොහැකි වන පරිදි එය පාළුවක් වනතෙක් නාස්ති කරන පිණිස මා විසින් මෘගයන් එහි යවනු ලබන විට,</verse>
				<verse number="16">ඒ මනුෂ්‍යයන් තිදෙනා එහි සිටියත්, මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මෙසේ කියමි. ඔවුන්ට සිය දරුදැරියන් වත් ගළවාගත නොහැකි වන්නේ ය. ඔවුන්ට ගළවාගත හැකි වන්නේ ඔවුන්ගේ ම ජීවිත පමණකි. දේශය ද පාළුවක් වනු ඇත. මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.</verse>
				<verse number="17">“නොහොත් මා යුද්ධ කඩුවක් ඒ දේශයට විරුද්ධ ව පමුණුවා, ‘කඩුව, දේශය මුළුල්ලෙහි යව’ කියා එතැනින් මනුෂ්‍යයන් සහ මෘගයන් සිඳදමන විට,</verse>
				<verse number="18">ඒ මනුෂ්‍යයන් තුන්දෙනා එහි සිටියත් මගේ ජීවමාන නාමයෙන් දිවුරා කියමි. ඔවුන්ට සිය දරුදැරියන් වත් ගළවාගත නොහැකි වන්නේ ය; ඔවුන්ට ගළවාගත හැකි වන්නේ ඔවුන්ගේ ම ජීවිත පමණකැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="19">“මා ඒ දේශයට වසංගතය එවා එතැනින් මනුෂ්‍යයන් ද මෘගයන් ද විනාශ කරදමන පිණිස මාගේ කෝපය ඒ කෙරෙහි වගුරුවා බොහෝ දෙනා විනාශ කරදමන විට,</verse>
				<verse number="20">නෝවා ද දානියෙල් ද ජෝබ් ද එහි සිටියත්, මාගේ ජීවමාන නාමයෙන් දිවුරා කියමි, ඔවුන්ට සිය දරුදැරියන් වත් ගළවාගත නොහැකි වන්නේ ය; ඔවුන් තමන්ගේ ධර්මිෂ්ඨකමින් සිය ප්‍රාණය පමණක් ගළවාගනු ඇත. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.</verse>
				<verse number="21">“තවද, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ජෙරුසලමෙන් මනුෂ්‍යයන් සහ මෘගයන් ද සිඳදමන පිණිස මා විසින් ඊට මාගේ තද දඬුවම් සතර වන කඩුව ද සාගතය ද චණ්ඩ මෘගයන් ද වසංගතය ද යැවූ කල්හි තව කොපමණ වැඩියෙන් බලාපොරොත්තු හීන වන්නේ ද?</verse>
				<verse number="22">එහෙත්, එහි පුත්‍රයෝ ද දූවරු ද ස්වල්ප දෙනෙකු ඉතිරි වුණොත් ඔව්හු පිටතට පමුණුවනු ලබන්නෝ ය. ඔවුන් නුඹලා වෙත පැමිණෙන විට ඔවුන් දෙස බලන්න. නුඹලා ඔවුන්ගේ හැසිරීම ද ඔවුන්ගේ ක්‍රියා ද සලකා බලන්න. එවිට මා ජෙරුසලමට කළ සියලු හානි ද ඒ පිට පැමිණෙවූ සියලු විපත්ති ද යුක්ති සහගත බව නුඹලාට පෙනෙනු ඇත.</verse>
				<verse number="23">නුඹලා ඔවුන්ගේ හැසිරීම ද ක්‍රියා ද දුටු විට නුඹලා සැනසෙනු ඇත. කුමක් නිසා ද, මා එහි කළ සියල්ල නිකරුණේ නොකළ බව නුඹලා දැනගනු ඇත. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.’ “</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“මනුෂ්‍ය පුත්‍රය, වනයේ ගසක අත්තක ලීයට වඩා මිදි වැලේ ලීවල අගයක් තිබේ ද?</verse>
				<verse number="3">මිදි වැලේ ලීයෙන් කිසිවක් තැනිය හැකි ද? නොහොත් යම් භාජනයක් එල්ලා තබන්න ඇබයක් වත් සාදාගත හැකි ද?</verse>
				<verse number="4">බලන්න, එය දර පිණිස ගින්නට දැමෙයි. එහි කොන් දෙක ගින්නෙන් දැවී ගොස් මැදත් අඟුරු වී ඇත. එය යම් වැඩකට සුදුසු ද?</verse>
				<verse number="5">එය හොඳින් තිබිය දී වත් කිසි වැඩකට සුදුසු නො වී ය. එසේ නම්, එය ගින්නෙහි දැවී අඟුරු වී තිබිය දී කිසිවකට සුදුසු වන්නේ කෙසේ ද? යම් වැඩකට යොදාගත හැකි ද?</verse>
				<verse number="6">“එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම වනයෙන් මිදි වැලේ ලීය ගෙන පුළුස්සාදැමුවාක් මෙන් ජෙරුසලම් වැසියන්ට දඬුවම් කරන්නෙමි.</verse>
				<verse number="7">මම ඔවුන්ට විරුද්ධ ව මුහුණ දෙන්නෙමි. ඔවුන් ගින්නෙන් බේරී ගිය නමුත්, දැන් ගින්නෙන් ඔවුන් දැවී යනු ඇත. මා ඔවුන්ට විරුද්ධ ව මාගේ මුහුණ අහකට හරවාගත් විට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.</verse>
				<verse number="8">ඔවුන් ද්‍රෝහිකම් කළ නිසා මම දේශය මරුකතරක් කරන්නෙමි.’ “</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">නැවතත් සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“මනුෂ්‍ය පුත්‍රය, ජෙරුසලමට ඇගේ පිළිකුල් ක්‍රියා දන්වමින් මෙසේ කියන්න:</verse>
				<verse number="3">‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ජෙරුසලමට මෙසේ වදාරන සේක. “ “ ‘ආරම්භය හා උපත අනුව නුඹ කානානිවරුන්ගේ දේශයට අයිති ය. නුඹේ පියා අමෝරිය ජාතිකයෙකි. නුඹේ මව හිත්තීය ජාතික ස්ත්‍රියකි.</verse>
				<verse number="4">නුඹ උපන් දවසේ දී, නුඹ උපන් කල කිසිවෙකු නුඹේ පෙකනිවැළ කැපුවේ වත්, පිරිසිදු කිරීමට නුඹ වතුරෙන් නෑවුවේ වත්, නුඹේ ඇඟේ ලුණු කොහෙත් ම ගෑවේ වත්, නුඹ හාන් රෙදිවලින් එතුවේ වත් නැත.</verse>
				<verse number="5">නුඹට අනුකම්පා කොට මේවායින් එකක් වත් නුඹට කරන පිණිස කිසිවෙක් නුඹ දෙස දයාවෙන් නොබැලුවේ ය. නුඹ උපන් දවසේ දී නුඹ පිළිකුල් කරනු ලැබ නුඹ එළිමහනේ පිටතට විසි කරදමනු ලැබුවෙහි ය.</verse>
				<verse number="6">“ ‘මා නුඹ ළඟින් යන විට නුඹ ලේවල වැතිර සිටිනු දැක, ‘නුඹ ලේවල වැතිර සිටිය දී ජීවත් වී</verse>
				<verse number="7">කෙතේ පැළයක් මෙන් වැඩෙන්නැ’යි මම කීවෙමි. නුඹ ද වැඩී, උස් වී පූර්ණ වියට පැමිණියෙහි ය. නුඹේ පියයුරු සෑදුණේ ය. නුඹේ ඉසකේ ද වැඩුණේ ය. එහෙත්, නුඹ නිර්වස්ත්‍ර ව නග්න ව සිටියෙහි ය.</verse>
				<verse number="8">“ ‘යළිත් මම නුඹ ළඟින් යන විට නුඹ පෙම් බැඳීමේ වයසට පැමිණ සිටි බව දිටිමි. මම මාගේ වස්ත්‍රය නුඹ පිට අතුරා, නුඹේ නිර්වස්ත්‍රකම වසා, නුඹට දිවුරුම් දී, නුඹ සමඟ ගිවිසුමක් කර, ‘නුඹ ද මට අයිති වූවෙහි ය’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාළ සේක.</verse>
				<verse number="9">“ ‘එවිට මම නුඹ වතුරෙන් නාවා, නුඹේ සිරුරෙන් ලේ සෝදා හැර නුඹ තෙලින් ආලේප කෙළෙමි.</verse>
				<verse number="10">විසිතුරු වැඩදැමූ වස්ත්‍ර මම නුඹට පළඳවා, කදිම හම් පාවහන් නුඹට දමා, සිහින් හණ රෙදි පිළියෙන් වසා පට රෙදිවලින් නුඹ සැරසුවෙමි.</verse>
				<verse number="11">මම ආභරණවලින් නුඹ සරසමින්, නුඹේ අත්වල වළලු ද නුඹේ ගෙල වටා මාලයක් ද දැමුවෙමි.</verse>
				<verse number="12">නුඹේ නාසයේ ආභරණයක් ද නුඹේ කන්වල කුණ්ඩලාභරණ ද නුඹේ හිසේ අලංකාර ඔටුන්නක් ද තැබුවෙමි.</verse>
				<verse number="13">මෙසේ නුඹ රන් රිදීවලින් සැරසී සිටියෙහි ය; නුඹේ වස්ත්‍ර සිහින් හණ රෙදිවලින් හා විසිතුරු දුහුල් රෙදිවලින් විය. නුඹ සිහින් පිටි ද මී පැණි ද තෙල් ද කෑවෙහි ය. නුඹ අතිශයින් ම ශෝභමාන වී රැජිනක බවට පත් වූයෙහි ය.</verse>
				<verse number="14">නුඹේ ශෝභනකම නිසා නුඹේ යසගොස දස දෙස පැතිර ගියේ ය. මක්නිසා ද, මා නුඹ කෙරෙහි තැබූ මාගේ තේජස නිසා නුඹේ ශෝභමානකම පරිපූර්ණ වී ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.</verse>
				<verse number="15">“ ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. එහෙත්, නුඹේ ශෝභමානකම පිට නුඹ විශ්වාසය තබා, නුඹේ කීර්තිය වේශ්‍යාකම් කිරීමට වාසියක් කරගෙන, ළඟින් යන එකිනෙකා නුඹේ වේශ්‍යාකමට පොළඹවා ගත්තෙහි ය.</verse>
				<verse number="16">නුඹේ වස්ත්‍රවලින් සමහරක් නුඹ රැගෙන, විසිතුරු වර්ණවත් ගිරිකුළු දේවාල සාදාගෙන එහි වේශ්‍යාකම් කෙළෙහි ය. එවැන්නක් පෙර සිදු වුණේ වත්, මතු සිදු වන්නේ වත් නැත.</verse>
				<verse number="17">මා නුඹට දුන් මාගේ රන් රිදීවලින් සෑදූ නුඹේ ලක්ෂණ ආභරණ රැගෙන, නුඹ පුරුෂයන්ගේ රූප සාදාගෙන ඒවා සමඟ වේශ්‍යාකම් කෙළෙහි ය.</verse>
				<verse number="18">නුඹේ විසිතුරු වස්ත්‍රවලින් නුඹ ඒවා වසා, මාගේ තෙල් ද මාගේ සුගන්ධ ද්‍රව්‍ය ද ඒවා ඉදිරියෙහි පූජා කෙළෙහි ය.</verse>
				<verse number="19">මා විසින් නුඹට දෙන ලද මාගේ කෑම වන සිහින් පිටි ද තෙල් ද මී පැණි ද නුඹ මිහිරි සුවඳ පිණිස ඒවා ඉදිරියෙහි පූජා කෙළෙහි ය.</verse>
				<verse number="20">“ ‘තවද, මා උදෙසා නුඹ වැදූ නුඹේ දරුදැරියන් ද රැගෙන නුඹ ඒ පිළිමවලට ආහාර මෙන් පූජා කෙළෙහි ය.</verse>
				<verse number="21">නුඹ වේශ්‍යාකම් කළා පමණක් නොව, නුඹ මාගේ දරුවන් ඝාතනය කර ගිනි පූජාවක් ලෙස ඔප්පු කෙළෙහි ය.</verse>
				<verse number="22">නුඹේ සියලු පිළිකුල් ක්‍රියාවල දී ද වේශ්‍යාකම්වල දී ද නුඹ නිර්වස්ත්‍ර ව, නග්න ව, නුඹේ ලේවල වැතිර සිටි නුඹේ බාල කාලය නුඹ කවදාවත් සිහි නො කෙළෙහි ය.’ “</verse>
				<verse number="23">“ ‘එම්බා ජෙරුසලම! නුඹට වන දරුණු විපතක මහතැ’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. මන්ද, නුඹේ සියලු දුෂ්ටකම්වලට පසු,</verse>
				<verse number="24">නුඹ සෑම වීදියක ප්‍රසිද්ධ තැන්වල වේශ්‍යාකම් කිරීම සඳහා ද දේව රූපවලට නැමදීම සඳහා ද ස්ථාන සාදාගත්තෙහි ය.</verse>
				<verse number="25">නුඹ සියලු මංසන්ධිවල නුඹේ ගිරිකුළු දේවාල ගොඩනඟාගෙන, නුඹේ ශෝභමානකම පිළිකුල්කමට පමුණුවා, ළඟින් යන සියල්ලන්ට කම් සැප සඳහා සිරුර භාර දී වේශ්‍යාකම් පිට වේශ්‍යාකම් කරගත්තෙහි ය.</verse>
				<verse number="26">තවද කම් සැපට සුපුරුදු, ශරීරයෙන් තර ව සිටින නුඹේ අසල්වාසීන් වන මිසර වැසියන් සමඟ නුඹ වේශ්‍යාකම් කොට මා කෝප කරවන ලෙස නුඹේ වේශ්‍යාකම් වැඩි කරගත්තෙහි ය.</verse>
				<verse number="27">“ ‘එබැවින් මම මාගේ අත නුඹට විරුද්ධ ව දිගු කොට, නුඹේ කෑම කොටස අඩු කර, නුඹට වෛර වන, නුඹේ සල්ලාල ජීවිතය ගැන ලජ්ජාවට පත් ව සිටින, පිලිස්තිවරුන්ගේ කාන්තාවන්ගේ ආශාවට නුඹ භාර දිනිමි.</verse>
				<verse number="28">“ ‘එයින් ද නුඹ සෑහීමට පත් නොවී, නුඹ අසිරියන්වරුන් සමඟ ද වේශ්‍යාකම් කෙළෙහි ය.</verse>
				<verse number="29">නුඹ කානාන් දේශයෙහි දී කල්දියාව දක්වාත් නුඹේ වේශ්‍යාකම් වැඩි කරගත්තෙහි ය. එහෙත්, නුඹ එයිනුත් සෑහීමට නොපැමිණියෙහි ය.</verse>
				<verse number="30">“ ‘අසංවර වේශ්‍යා ස්ත්‍රියකගේ ක්‍රියා වන මේ සියල්ල කරන නුඹ දොළදුකින් සිටිනු නොවේ දැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ අසන සේක.</verse>
				<verse number="31">එසේ ය, නුඹේ සියලු මාර්ගවල නුඹ යහන් තනාගෙන සියලු වීදිවල නුඹේ කඳු මත පූජාස්ථාන සාදාගත්තෙහි ය. එහෙත්, සාමාන්‍ය වෙසඟනක සේ නුඹට මුදල් ලබාගැනීමේ ආශාවක් නැත.</verse>
				<verse number="32">නුඹ නම්, සිය ස්වාමි පුරුෂයාට ප්‍රේම කරනු වෙනුවට අමුත්තන් සමඟ කම් සැප විඳින ස්ත්‍රියක වැනි ය.</verse>
				<verse number="33">සියලු වේශ්‍යාවන්ට යම් මුදලක් ගෙවනු ලැබේ. එහෙත්, නුඹ නුඹේ සියලු පෙම්වතුන්ට නුඹේ මුදල් දී, නුඹ සමඟ වේශ්‍යාකම් කිරීමට, හැම අතින් ම නුඹ සමඟ කම් සැපෙහි යෙදෙන්න නුඹ ඔවුන්ට තෑගි බෝග දුන්නෙහි ය.</verse>
				<verse number="34">එබැවින් නුඹේ වේශ්‍යාකම්වල දී නුඹේ හැසිරීම අන් ස්ත්‍රීන්ට වඩා වෙනස් ය. කුමක් නිසා ද, වේශ්‍යාකමට කිසිවෙක් නුඹ පස්සේ එන්නේ නැත. නුඹ මුදල් දෙනවා මිස කිසිවෙක් නුඹට මුදල් දෙන්නේ නැත. මේ නිසා නුඹ අන් වෙසඟනන්ට වඩා වෙනස් ය.’ “</verse>
				<verse number="35">“ ‘එබැවින්, එම්බා වෙසඟනක වන ජෙරුසලම! සමිඳාණන් වහන්සේගේ පණිවුඩයට සවන් දෙන්න. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක:</verse>
				<verse number="36">“ ‘නුඹ විළිබිය නොතකා, නග්න වී, නුඹේ පෙම්වතුන් හා පිළිකුල් රූප සමඟ වේශ්‍යාකම් කෙළෙහි ය. ඒ රූපවලට පූජාවන් මෙන් දරුවන් මැරුවෙහි ය.</verse>
				<verse number="37">එබැවින් නුඹ කම් සැපට වසඟකරගත් නුඹේ සියලු ප්‍රේමවන්තයන් ද නුඹ ප්‍රේම කළ සියල්ලන් ද නුඹ වෛර කළ සියල්ලන් ද මම රැස් කරමි. මම ඔවුන් නුඹට විරුද්ධ ව නුඹ වටේට රැස් කොට, ඔවුන් නුඹේ නග්න භාවය දකින පිණිස නුඹ නිරුවත් කොට දක්වාලමි.</verse>
				<verse number="38">පර පුරුෂ සේවනයෙහි යෙදෙන මිනීමරු කාන්තාවන්ට ම දිය යුතු නිසි විනිශ්චය දී, නුඹට දඬුවම් කොට නුඹ උදහසට හා කෝපයට ලක් කිරීමට මම සලසන්නෙමි.</verse>
				<verse number="39">මම නුඹ ඔවුන්ට පාවා දෙන්නෙමි. ඔවුන් නුඹේ උස් තැන් සමතලා කර, ගිරිකුළු දේවාල කඩාදමා, නුඹේ වස්ත්‍ර ඉරාදමා, නුඹේ අලංකාර ආභරණ ගලවා නුඹ සහමුලින් ම නිර්වස්ත්‍ර කරනු ඇත.</verse>
				<verse number="40">“ ‘ඔවුන් නුඹට විරුද්ධ ව සෙනඟක් පොළඹවා, නුඹට ගල් ගසා, ඔවුන් තමන්ගේ කඩුවලින් නුඹ කපා කැබලි කරනු ඇත.</verse>
				<verse number="41">ඔවුන් නුඹේ ගෙවල් ගිනි ලා, බොහෝ ස්ත්‍රීන් බලා සිටිය දී නුඹ කෙරෙහි විනිශ්චය ඉෂ්ට කරනු ඇත. වේශ්‍යාකම් කිරීමෙන් මම නුඹ නවත්වන්නෙමි; පෙම්වතුන්ට මුදල් දීම ද නවත්වන්නෙමි.</verse>
				<verse number="42">මෙසේ නුඹට විරුද්ධ ව ඇති මාගේ උදහස ද මාගේ ඊර්ෂ්‍යාව ද නුඹ කෙරෙන් පහ ව යනු ඇත. මම සන්සුන් ව තවත් උදහස් නොවී සිටින්නෙමි.</verse>
				<verse number="43">නුඹ නුඹේ බාල කාලය අමතක කොට, නුඹ කළ සියල්ලෙන් මා උදහස් කළ බැවින් එහි දුර්විපාක මම නුඹ පිට පැමිණෙව්වෙමි. නුඹ ද නුඹේ සියලු පිළිකුල් ක්‍රියා මදිවාට, මේ නපුරු දූෂ්‍යකම් කෙළේ මන්දැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ පවසන සේක.’ “</verse>
				<verse number="44">“උපමා කියන අය, ‘මව යම් සේ ද දුවත් එසේ ම ය’ යන මේ ප්‍රස්තාව පිරුළ නුඹ ගැන කියනු ඇත.</verse>
				<verse number="45">ඇත්තට ම නුඹ පුරුෂයාටත්, දරුවාටත් ද්වේෂ කළ මවගේ දුව ය; නුඹ පුරුෂයන්ට ද දරුවන්ට ද ද්වේෂ කළ නුඹේ සහෝදරියන්ගේ සහෝදරී ය. නුඹේ මව හිත්තීය ජාතික ස්ත්‍රියක් ය. නුඹේ පියා අමෝරිය ජාතිකයෙක් ය.</verse>
				<verse number="46">“නුඹේ වැඩිමහල් සහෝදරී වූකලී නුඹට උතුරු පැත්තෙන් සිය දූවරුන් සමඟ වාසය කරන සමාරිය දේශය වේ. නුඹේ බාල සහෝදරී නුඹට දකුණු පසින් සිය දූවරුන් සමඟ වාසය කරන සොදොම් පෙදෙස වේ.</verse>
				<verse number="47">එහෙත්, නුඹ ඔවුන් ගිය මාර්ගයෙන් යෑමෙන් වත්, ඔවුන් කළ පිළිකුල් ක්‍රියා කිරීමෙන් වත් සෑහීමට නොපැමිණ නොබෝ කලකින් ඔවුන්ටත් වඩා නුඹේ කල්ක්‍රියාවෙන් දුෂ්ටකම් කෙළෙහි ය.</verse>
				<verse number="48">“මාගේ ජීවමාන නාමයෙන් මෙසේ දිවුරා කියමි; නුඹ සහ නුඹේ දූවරුන් කළ ලෙස නුඹේ සහෝදරී වූ සොදොම සහ ඇගේ දූවරුන් කෙළේ නැත් මැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="49">නුඹේ සහෝදරී වූ සොදොම්ගේ අපරාධ මෙසේ ය: ඈ සහ ඇගේ දූවරු අහංකාරී ව සිටියහ; අධික ආහාර ද සැප පහසුකම් ද ඇති ව සිටියහ. එහෙත්, ඔවුන් අසරණයන් ද දිළිඳුන් ද සැලකුවේ නැත.</verse>
				<verse number="50">ඔවුන් උඩඟු ව සිට මා ඉදිරියෙහි පිළිකුල් ක්‍රියා කළ බැවින්, එය දුටු විට මම ඔවුන් ඉවත් කෙළෙමි.</verse>
				<verse number="51">“සමාරිය නුඹ කළ පව්වලින් අර්ධයක් වත් නොකළා ය. නුඹ ඔවුන්ට වඩා අධික ලෙස පිළිකුල් ක්‍රියා කෙළෙහි ය. ඒ සමඟ සැසඳූ විට නුඹේ සහෝදරියන් පෙනෙන්නේ ධර්මිෂ්ඨයන් වශයෙනි.</verse>
				<verse number="52">නුඹේ සහෝදරියන්ට යුතු ය යි නුඹ සිතූ ලජ්ජාව දැන් නුඹ දරාගත යුතු ය. ඔවුන්ගේ පාපවලට වඩා නුඹේ පාප කොතරම් පිළිකුල් සහිත දැ යි කීවොත්, නුඹ හා සසඳා බැලූ විට ඔවුන් නුඹට වඩා ධර්මිෂ්ඨයන් සේ පෙනේ. මෙසේ නුඹ නුඹේ සහෝදරියන් ධර්මිෂ්ඨ ලෙස පෙනෙන්නට සැලැසූ බැවින් ලජ්ජාවට පැමිණ නුඹේ නින්දාව දරාගන්න.”</verse>
				<verse number="53">“සමිඳාණන් වහන්සේ ජෙරුසලම අමතා මෙසේ වදාළ සේක: ‘සොදොම් සහ එහි ගම් ද සමාරිය සහ එහි ගම් ද මම යළි සමෘද්ධිමත් කරන්නෙමි. එසේ ම ජෙරුසලම, මම නුඹ ද ඔවුන් මැද සමෘද්ධිමත් කරන්නෙමි.</verse>
				<verse number="54">නුඹ ගැන ම නුඹ ලජ්ජාවට පැමිණෙන්නෙහි ය. නුඹේ නින්දාවට සම කළ විට නුඹේ සහෝදරියන් කොතරම් සමෘද්ධිමත් දැ යි පෙනී යනු ඇත.</verse>
				<verse number="55">නුඹේ සහෝදරියන් වන සොදොම් සහ එහි ගම් ද තමන්ගේ පළමු ස්වභාවයට පැමිණෙනු ඇත; සමාරිය සහ එහි ගම් ද තමන්ගේ පළමු ස්වභාවයට පැමිණෙනු ඇත; නුඹ සහ නුඹේ ගම් ද නුඹලාගේ පළමු ස්වභාවයට පැමිණෙනු ඇත.</verse>
				<verse number="56">නුඹේ දූෂණ හෙළි කරනු ලබන්න පෙර, නුඹ අහංකාරී ව සිටි කාලයේ දී නුඹ සොදොම්ට උසුළු-විසුළු කළා නොවේ ද? දැන් නුඹ සොදොම් මෙන් ඒදොම්වරුන්ට ද පිලිස්තිවරුන්ට ද විහිළුවක් වී ඇත. නුඹට ද්වේෂ කළ නුඹේ අසල්වාසීන්ට ද නුඹ විහිළුවක් වී ඇත.</verse>
				<verse number="57">***</verse>
				<verse number="58">නුඹ කළ අශික්ෂිත පිළිකුල් කටයුතු ක්‍රියාවල විපාකය නුඹ දැරිය යුතු ය.’ මෙසේ පැවසුවේ සමිඳාණන් වහන්සේ ය.”</verse>
				<verse number="59">“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ගිවිසුම කඩ කරමින්, දිවුරුම සුළු කළ නුඹේ ක්‍රියාවලට සුදුසු ලෙස මම නුඹ ගැන ක්‍රියා කරන්නෙමි.</verse>
				<verse number="60">එහෙත්, මා නුඹේ බාල කාලයේ දී නුඹ සමඟ කළ මාගේ ගිවිසුම සිහි කොට, සදහට ම පවතින ගිවිසුමක් නුඹ සමඟ කරන්නෙමි.</verse>
				<verse number="61">නුඹේ වැඩිමහල් වූ ද බාල වූ ද සහෝදරියන් ආපසු පිළිගත් විට නුඹ නුඹේ කල්ක්‍රියාව සිහි කොට ලජ්ජාවන්නෙහි ය. නුඹ සමඟ මා කළ ගිවිසුමේ කොටසක් නොවූවත්, මම ඔවුන් දූවරුන් කොට නුඹට දෙන්නෙමි.</verse>
				<verse number="62">මාගේ ගිවිසුම නුඹ සමඟ යළි පිහිටුවන්නෙමි. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹ දැනගන්නෙහි ය.</verse>
				<verse number="63">නුඹ කළ සියලු වරදට මම නුඹට කමා වන්නෙමි. එහෙත්, නුඹ ඒවා සිහි කොට ලජ්ජාවෙන් තවත් කට නෑර සිටින්නෙහි ය. ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”</verse>
			</chapter>
			<chapter number="17">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මට කතාකොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඉශ්රායෙල් වංශයට ප්‍රහේලිකාවක් ද උපමාවක් ද කියමින්,</verse>
				<verse number="3">‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි පවසන්න. ‘විශාල පියාපත් ද දිග පිහාටු ද නා නා පැහැ ඇති පිහාටු රැසකින් ද විසිතුරු වූ යෝධ රාජාලියෙක් ලෙබනොන්ට අවුත් කිහිරි ගහේ මුදුන කඩා ගත්තේ ය.</verse>
				<verse number="4">ඔහු එහි මුදුන් රිකිලි කඩා, වෙළහෙළඳාම් කරන දේශයකට එය ගෙනවුත් වෙළෙඳුන්ගේ නුවරක එය සිටෙව්වේ ය.</verse>
				<verse number="5">ඔහු දේශයෙන් පැළෑටියක් රැගෙන සාරවත් බිමක සිටෙව්වේ ය. ඔහු එය බොහෝ දිය ඇති ගඟක් ළඟ පැළෑටියක් මෙන් සිටෙව්වේ ය.</verse>
				<verse number="6">එය වැඩී පැතිරී යන විට මිදි වැලක් වී ය. එහි අතු රාජාලියා දෙසට වැඩී ගියේ ය. එහි මුල් ගැඹුරට ඇදී ගියේ ය. මෙසේ එහි අතු රිකිලි විහිදී මිදි වැලක් විය.</verse>
				<verse number="7">“ ‘තවද, මහා පියාපත් සහ බොහෝ පිහාටු ඇති තවත් යෝධ රාජාලියෙක් විය. එවිට අර මිදි වැල සිය මුල් ඔහු දෙසට හරවා, ඔහු එයට වතුර වත් කරනු ඇතැ යි යන බලාපොරොත්තුවෙන් එහි පිහිටුවා තිබුණු පාත්තිවලින් එහි අතු ඔහු දෙසට හැරෙව්වේ ය.</verse>
				<verse number="8">සරු සාර මිදි වැලක් වනු වස්, අතු ලියලා පල දෙන පිණිස එය සාරවත් බිමක බොහෝ දිය ඇති ගඟක් ළඟ හිටවා තිබුණේ ය.</verse>
				<verse number="9">“ ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ අසන සේකැ යි කියන්න. ඒ මිදි වැල සඵල වේ ද? එය වියළී යන පිණිස පළමු රාජාලියා එහි මුල් උදුරා, පල කඩාදමා සියලු ළා දලු වියළී යන්නට හරින්නේ නැද් ද? මුල් පිටින් එය උදුරාදමන්නට ශක්තිසම්පන්න හස්තයක් වත්, බලවත් සෙනඟ වත් ඕනෑ නොවන්නේ ය.</verse>
				<verse number="10">එය අන් තැනක සිටුවා තිබෙන නමුත්, එය සශ්‍රීක වේ ද? පෙරදිග සුළඟ ඊට වදින විට එය සහමුලින් ම වියළී නොයන්නේ ද? එය වැඩෙන පාත්තිවල ම එය වියළී යන්නේ නැද් ද?’ “</verse>
				<verse number="11">සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="12">“මේ කරුණු කවරේ ද කියා නුඹලා දන්නේ නැද්දැ”යි කැරලිකාර වංශයට කියන්න. බබිලෝනියේ රජ ජෙරුසලමට අවුත් එහි රජු සහ එහි අධිපතීන් ද රැගෙන තමා සමඟ බබිලෝනියට ගෙන ගියේ ය.</verse>
				<verse number="13">“ඔහු රාජ වංශයේ කෙනෙකු ගෙන, ඔහු සමඟ ගිවිසුමක් කොට, ඔහු විශ්වාස ව සිටින බවට දිවුරුම් ගත්තේ ය. ඉක්බිති ඔහු දේශයේ ප්‍රධානීන් ගෙන ගියේ ය.</verse>
				<verse number="14">මෙසේ කෙළේ, රාජ්‍යය පහත් තත්ත්වයේ ම සිට උසස් නොවන පිණිසත්, ගිවිසුම පවත්වන බවට සහතික වන ලෙසත් ය.</verse>
				<verse number="15">එහෙත්, ජුදාවේ රජ කැරලිගසා අශ්වයන් සහ බොහෝ සෙනඟ ලබාගන්න පිණිස තමාගේ තානාපතියන් මිසරයට යැව්වේ ය. ඔහු ජය ගනීවි ද? මෙබඳු දේ කරන්නාට ගැළවෙන්න පුළුවන් ද? ගිවිසුම කඩ කළායින් පසුත් ඔහුට ගැළවෙන්න හැකි වේ ද?</verse>
				<verse number="16">“මහෝත්තම දෙවි ස්වාමීන් වන මම මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මෙසේ කියමි: ‘ඔහු රජකමට පත් කළ රජුගේ දිවුරුම් ඔහු සුළු කොට ඔහුගේ ගිවිසුම කඩ කළ නිසා, ඔහු ඒ රජු වාසය කරන බබිලෝනියේ දී ම ඒ රජු ළඟ ම නසින්නේ ය.</verse>
				<verse number="17">ඔහු බොහෝ දෙනෙකු සිඳදමන පිණිස පස් කඳු සාදා බලකොටු ගොඩනඟන කල, යුද්ධයෙහි දී පාරාවෝ තමාගේ බලවත් සේනාව ද මහා සමූහය ද ඇති ව ඔහු උදෙසා කිසි උදව්වක් කරන්නේ නැත.</verse>
				<verse number="18">මන්ද, ඔහු ගිවිසුම කඩ කර දිවුරුම සුළු කෙළේ ය. ඔහු අත හිත දී තිබුණ නමුත්, මේ සියල්ල කෙළේ ය. ඔහු නොගැළවෙන්නේ ය.’ “</verse>
				<verse number="19">එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මෙසේ කියමි: ඔහු සුළු කෙළේ මාගේ දිවුරුම ය; ඔහු කඩ කෙළේත් මාගේ ගිවිසුම ය; මම ද ඔහුට දුර්විපාක දෙන්නෙමි.</verse>
				<verse number="20">මාගේ දැල ඔහු පිට හෙළන්නෙමි. ඔහු මාගේ මලපතට අසු වන්නේ ය. මම ඔහු බබිලෝනියට පමුණුවා, මට විරුද්ධ ව කර තිබෙන ඔහුගේ ද්‍රෝහිකම ගැන එහි දී ඔහු විනිශ්චයයට පමුණුවන්නෙමි.</verse>
				<verse number="21">ඔහුගේ සියලු හමුදාවලින් පලා යන සියල්ලන් කඩු පහරින් වැටෙනු ඇත. ඉතිරි වන අය සියලු දිශාවලට විසුරුවනු ලබනු ඇත. නුඹලා ද සමිඳාණන් වහන්සේ වන මා එසේ කී බව දැනගන්නහු ය.”</verse>
				<verse number="22">මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “උස් වූ කිහිරි ගස් මුදුනෙන් මම ම රිකිල්ලක් ගෙන එය සිටුවන්නෙමි. එහි මුදුන් රිකිලිවලින් ළපටි රිකිල්ලක් කඩාගෙන උසට උසේ ඇති කන්දක් මුදුනේ සිටුවන්නෙමි.</verse>
				<verse number="23">මම එය උස් වූ ඉශ්රායෙල් කන්ද උඩ සිටුවන්නෙමි. එයින් අතු ලියලන්නේ ය; එහි පලදාව හටගන්නේ ය; එය උතුම් කිහිරි ගසක් වන්නේ ය. පියාපත් ඇති සියලු ආකාර පක්ෂීහු යට ලගින්නෝ ය. ඒ අතුවල සෙවණෙහි උන් ලගිනු ඇත.</verse>
				<verse number="24">එවිට, ස්වාමීන් වන මා උස් ගහ පහත් කළ බවත්, මිටි ගහ උස් කළ බවත්, සරු ගහ වියළි කළ බවත්, වියළි ගහ සරුකර ඇති බවත් දේශයේ සියලු ගස් දැනගනු ඇත. ස්වාමීන් වන මම මෙසේ වදාළෙමි; වදාළ ලෙස ම කරමි.”</verse>
			</chapter>
			<chapter number="18">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මට යළිත් මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“ ‘පියවරු ඇඹුල් මිදි පල කෑවෝ ය; දරුවන්ගේ දත් හිරි වැටෙන්නේ ය’ යන ප්‍රස්තාව පිරුළ නුඹලා ඉශ්රායෙල් රටෙහි නැවත නැවත කියන්නේ මන් ද?</verse>
				<verse number="3">“ඉශ්රායෙල්හි මේ ප්‍රස්තාව පිරුළ මින්පසු කියනු නොලැබේ යයි මහෝත්තම දෙවි ස්වාමීන් වන මම මාගේ නාමයෙන් දිවුරා කියමි.</verse>
				<verse number="4">බලන්න, හැම ජීවිතයක් ම මට අයිති ය; පියාගේ ජීවිතය මෙන් පුත්‍රයාගේ ජීවිතයත් මට අයිති ය. පාපයේ ප්‍රතිවිපාකය විඳින්නේ පව් කළ පුද්ගලයා ම ය.</verse>
				<verse number="5">“දැහැමි මිනිසා නීති ගරුක, අහිංසක පුද්ගලයෙකි,</verse>
				<verse number="6">ඔහු කිසි කලක කඳු මත පූජාස්ථානවල කෑම කන්නේ නැත; ඉශ්රායෙල්හි දේව රූප දෙසට නෙත් යොමු කරන්නේ නැත; අන් කෙනෙකුගේ භාර්යාව දූෂණය කරන්නේ නැත; ඔසප් වී සිටින ස්ත්‍රියක වෙත ළඟා වන්නේ නැත;</verse>
				<verse number="7">කිසිවෙකුට පීඩා කරන්නේ නැත; ඔහු ණයට ගත් තැනැත්තාගේ උකස ආපසු දෙන්නේ ය; සොරකම් නොකරන්නේ ය; සාගින්නේ පෙළෙන්නාට තමාගේ කෑම දෙන්නේ ය, වස්ත්‍ර නැති අයට වස්ත්‍ර දෙන්නේ ය;</verse>
				<verse number="8">ඔහු පොලියට මුදල් නොදෙයි; අයුතු ලාභ නොගනියි; නපුරෙන් වැළකෙයි. එකිනෙකා අතරේ සාධාරණ ලෙස යුක්තිය ඉටු කරයි;</verse>
				<verse number="9">මාගේ පණත් ප්‍රකාර හැසිරෙයි. මාගේ නියමයන් අවංක ව පවත්වයි. එවැනි මිනිසෙක් ධර්මිෂ්ඨ ය. ඔහු සැබැවින් ම ජීවත් වන්නේ ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.</verse>
				<verse number="10">“මේ මිනිසාට සැහැසිකම් කරන, මිනීමරුවකු වන, මේ නියමයන්ට පිටුපාන පුත්‍රයෙකු සිටින්නට පුළුවන. පියා කිසි අයුතුකමක් නොකළ නමුත්,</verse>
				<verse number="11">මේ පුත්‍රයා කඳු මත පූජාස්ථානවල කෑම කන්නේ ය; අන් කෙනෙකුගේ භාර්යාව දූෂණය කරන්නේ ය.</verse>
				<verse number="12">අසරණයාට ද දිළින්දාට ද පීඩා කොට කොල්ලකන්නේ ය; ණයට ගත් තැනැත්තාගේ උකස ආපසු නොදෙන්නේ ය; දේව රූප දෙසට නෙත් යොමා,</verse>
				<verse number="13">පිළිකුල් ක්‍රියා කරන්නේ ය; පොලියට දී අයුතු ලාභ ද ගන්නේ ය. ඒ පුත්‍රයා ජීවත් වන්නේ ද? නැත. ඔහු ජීවත් වන්නේ නැත. ඔහු මේ සියලු පිළිකුල් ක්‍රියා කළ බැවින් ඔහු සැබැවින් ම නසින්නේ ය. ඔහුගේ විනාශයට ඔහු ම වගකිව යුතු වේ.</verse>
				<verse number="14">“එහෙත්, ඒ මිනිසාගේ මේ පුත්‍රයාට, තමාගේ පියා කළ සියලු පාප දැක, බිය වී, එලෙස නොකරන පුතෙකු සිටින්නට පුළුවන.</verse>
				<verse number="15">ඔහු කිසි කලක කඳු මත පූජාස්ථානවල කෑම කන්නේ නැත; ඉශ්රායෙල්හි දේව රූප දෙසට නෙත් යොමු කරන්නේ නැත. අන් කෙනෙකුගේ භාර්යාව දූෂණය කරන්නේ නැත.</verse>
				<verse number="16">කිසිවෙකුට පීඩා කරන්නේ නැත; ඔහු ණයට ගත් තැනැත්තාගේ උකස ආපසු දෙන්නේ ය; සොරකම් කරන්නේ නැත; සාගින්නෙන් පෙළෙන්නාට තමාගේ කෑම දෙන්නේ ය; වස්ත්‍ර නැති අයට වස්ත්‍ර දෙන්නේ ය;</verse>
				<verse number="17">ඔහු නපුරෙන් වැළකී සිටියි. පොලියට මුදල් නොදෙයි. අයුතු ලාභ නොගනියි. මාගේ නියෝග පිළිපැද මාගේ පණත් අනුව හැසිරෙන්නේ ය. මේ මිනිසා තමාගේ පියාගේ අයුතුකම නිසා නොනැසී සැබැවින් ම ජීවත් වන්නේ ය.</verse>
				<verse number="18">“අනිත් අතට ඔහුගේ පියා කෲර ලෙස පීඩා කොට, තමාගේ සහෝදරයාගෙන් කොල්ලකා, තමාගේ සෙනඟ අතරේ නපුරු දේ කළ හෙයින් තමාගේ ම අපරාධ නිසා නැසුණේ ය.</verse>
				<verse number="19">“එහෙත්, පියාගේ අපරාධ නිසා පුත්‍රයා දඬුවම් නොලබන්නේ මන්දැ යි නුඹලා අසනු ඇත. පුත්‍රයා නීති ගරුක ව අවංක ව සිට මාගේ සියලු පණත් පිළිපැද, ඒවා ඉටු කර තිබේ නම්, ඔහු සැබැවින් ම ජීවත් වන්නේ ය.</verse>
				<verse number="20">පව් කරන පුද්ගලයා ම නසිනු ඇත. පුත්‍රයා පියාගේ අදමිටුකමට වගකිවයුත්තෙක් නොවේ; පියා ද පුත්‍රයාගේ අයුතුකමට වගකිවයුත්තෙක් නොවේ. ධර්මිෂ්ඨයා සිය ධර්මිෂ්ඨකමේ පල විපාකත්, දුෂ්ටයා සිය දුෂ්ටකමේ ප්‍රතිවිපාකත් විඳින්නේ ය.</verse>
				<verse number="21">“එහෙත් දුෂ්ටයා තමා කළ සියලු පාපවලින් හැරී, මාගේ සියලු පණත් පවත්වමින් නීති ගරුක ව ද අවංක ව ද සිටියොත්, ඔහු සැබැවින් ම නොනැසී ජීවත් වන්නේ ය.</verse>
				<verse number="22">ඔහු කළ ඔහුගේ සියලු වරද ඔහුට විරුද්ධ ව සිහි නොකරනු ලැබේ. ඔහු කළ ඔහුගේ ධර්මිෂ්ඨකම නිසා ඔහු ජීවත්වන්නේ ය.</verse>
				<verse number="23">දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත් වීම මිස ඔහු නැසී යාම කිසි ලෙසකින් වත් මට සතුටක් වනු ඇද්දැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ අසන සේක.</verse>
				<verse number="24">“එහෙත්, ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකමෙන් හැරී, අධර්මිෂ්ඨකම් කොට, දුෂ්ටයා කරන සියලු ම පිළිකුල් ක්‍රියා කළොත්, ඔහු ජීවත් වේ ද? ඔහු කළ ඔහුගේ ධර්මිෂ්ඨ ක්‍රියාවලින් කිසිවක් සිහි කරනු නොලැබේ. ඔහු කළ ඔහුගේ ද්‍රෝහිකම් නිසාත්, ඔහු කළ ඔහුගේ පාප නිසාත් ඔහු නසින්නේ ය.</verse>
				<verse number="25">“එහෙත්, සමිඳාණන් වහන්සේගේ ක්‍රියා අසාධාරණ ය”යි නුඹලා කියන්නහු ය. අහෝ ඉශ්රායෙල්වරුනි! අසන්න. මාගේ ක්‍රියා සාධාරණ නොවේ ද? සාධාරණ නැත්තේ නුඹලාගේ ක්‍රියා නොවේ ද?</verse>
				<verse number="26">ධර්මිෂ්ඨයෙකු තමාගේ ධර්මිෂ්ඨකමෙන් හැරී, අධර්මිෂ්ඨකම් කරමින් සිට නසින කල ඔහු නසින්නේ, තමා කළ තමාගේ අධර්මිෂ්ඨකම් නිසා ය.</verse>
				<verse number="27">යළිත්, දුෂ්ටයා තමා කළ දුෂ්ටකමෙන් හැරී, නීති ගරුක ව ද අවංක ව ද සිටින කල ඔහු තමාගේ ජීවිතය රැකගන්නේ ය.</verse>
				<verse number="28">ඔහු වරද තේරුම්ගෙන තමාගේ සියලු ම වැරදිවලින් හැරෙන නිසා, ඔහු නොනැසී ජීවත් වන්නේ ම ය.</verse>
				<verse number="29">එහෙත්, සමිඳාණන් වහන්සේගේ ක්‍රියා සාධාරණ නැතැ යි ඉශ්රායෙල් වංශය කියති. අහෝ ඉශ්රායෙල් වංශය! මාගේ ක්‍රියා සාධාරණ නොවේ ද? සාධාරණ නැත්තේ නුඹලාගේ ක්‍රියා නොවේ ද?</verse>
				<verse number="30">“එබැවින්, අහෝ ඉශ්රායෙල්වරුනි, මම නුඹලා එකින් එකා පෞද්ගලික වශයෙන් තම තමාගේ ක්‍රියා අනුව විනිශ්චය කරන්නෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. පසුතැවී සිත් හරවා ගෙන නුඹලා කළ සියලු වරද හැර දමන්න; එවිට අයුතුකම නුඹලාගේ විනාශයට කාරණයක් නොවන්නේ ය.</verse>
				<verse number="31">නුඹලා කළ නුඹලාගේ සියලු වරද නුඹලා වෙතින් ඉවතදමා අලුත් සිතක් ද අලුත් මනසක් ද නුඹලාට ම සලසාගන්න. ඉශ්රායෙල්වරුනි, නුඹලා නසින්නේ කුමට ද?</verse>
				<verse number="32">කිසිවෙකු මැරෙනවාට මාගේ කැමැත්තක් නැත. එබැවින්, පාපයෙන් හැරී ජීවත් වන්න. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”</verse>
			</chapter>
			<chapter number="19">
				<verse number="1">ඉශ්රායෙල් අධිපතීන් ගැන විලාපයක් පවත්වමින් මෙසේ කියන්නැ යි සමිඳාණන් වහන්සේ මට වදාළ සේක:</verse>
				<verse number="2">“නුඹේ මවු කවරෙක් ද? ඈ සිංහයන් මැද ලැගුම්ගත් සිංහ ධේනුවක් ය. තරුණ සිංහයන් අතරෙහි ද ඈ තම පැටවුන් ඇති කළා ය.</verse>
				<verse number="3">ඈ ඇති කළ ඇගේ පැටවුන්ගෙන් එකෙක් තරුණ සිංහයෙක් වී, ගොදුරු අල්ලන්න ඉගෙනගෙන මිනිසුන් කාදැමී ය.</verse>
				<verse number="4">ඌ ගැන ජාතීන්ට ද සැළ විය. ඌ ඔවුන්ගේ බොරු වළෙහි අසු විය. ඔව්හු උගුලට කොකු දමා ඌ මිසර දේශයට ගෙන ගියෝ ය.</verse>
				<verse number="5">ඈ බලා සිට කලකිරී, ඇගේ බලාපොරොත්තුව සුන් ව තිබෙන බව දැක, සිය පැටවුන්ගෙන් තවත් එකෙකු ගෙන ඌ තරුණ සිංහයෙකු වන තෙක් ඇතිදැඩි කළා ය.</verse>
				<verse number="6">ඌ ද සිංහයන් අතරේ ගැවසී, තරුණ සිංහයෙකු වී, ගොදුරු අල්ලන්න ඉගෙනගෙන මිනිසුන් කාදැමී ය.</verse>
				<verse number="7">ඌ ඔවුන්ගේ මාලිගා කඩාදමා, ඔවුන්ගේ නගර නාස්ති කෙළේ ය. දේශය ද එහි වැසියෝ ද උගේ ගර්ජනා හඬට භීතියෙන් ත්‍රස්ත වූ හ.</verse>
				<verse number="8">එවිට ජාතීහු ඔහුට විරුද්ධ ව තමන්ගේ දැල ඌ පිට හෙළුවෝ ය. ඌ ද ඔවුන්ගේ උගුලට අසු විය.</verse>
				<verse number="9">ඔව්හු ඌට කොකු දමා, කූඩුවක ලා, බබිලෝනියේ රජු ළඟට ගෙනාවෝ ය. උගේ නාදය ඉශ්රායෙල් කඳුවල තවත් නෑසෙන පිණිස ඔව්හු ඌ බලකොටුවලට ගෙනාවෝ ය.”</verse>
				<verse number="10">“නුඹේ මව දිය දහර අසල සිටු වන ලද මිදි වැලක් මෙන් වූවා ය. එහි බොහෝ වතුර තිබූ නිසා මිදි වැල බොහෝ පල දරා සරුසාර විය.</verse>
				<verse number="11">ආණ්ඩුකාරයන්ගේ ජයකොන්ත සෑදීමට සුදුසු සවි ඇති දඬු මිදි වැලට තිබිණි. එය වලාකුළුවල ගෑවෙන තරමට උස් විය. එය කොතරම් උස ද කියාත්, කොතරම් කොළ අතු බහුල ව ඇත් ද කියාත් සියල්ලන්ට ම පෙනුණේ ය.</verse>
				<verse number="12">එහෙත්, එය කෝපයෙන් උදුරනු ලැබ, බිමට හෙළනු ලැබුවේ ය. එහි පල පෙරදිග සුළඟට වියළී ගොස් වැටී ගියේ ය. එහි සවි ඇති දඬු කඩනු ලැබී ය. ඒවා වියළී ගොස් ගින්නෙහි දවනු ලැබී ය.</verse>
				<verse number="13">දැන් ඒ මිදි වැල කාන්තාරයෙහි දිය සීරා නැති වියළි භූමියක සිටුවා තිබේ.</verse>
				<verse number="14">එහි කඳ ගිනිගත්තේ ය. අතු හා පල ගින්නෙන් දැවී ගියේ ය. ආණ්ඩුකාරයන්ගේ ජයකොන්ත සෑදීම පිණිස සවිය ඇති දඬු තවත් එහි නො වී ය. මේ වනාහි විලාප ගීයකි. එය යළි යළිත් ගයනු ලැබී ය.”</verse>
			</chapter>
			<chapter number="20">
				<verse number="1">සත් වන අවුරුද්දේ පස් වන මාසයේ දස වන දින ඉශ්රායෙල් ප්‍රජා මූලිකයන්ගෙන් සමහරෙක් සමිඳාණන් වහන්සේගේ කැමැත්ත ගැන විමසන පිණිස අවුත් මා ඉදිරියෙහි හිඳගත්තෝ ය.</verse>
				<verse number="2">එවිට සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="3">“මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඉශ්රායෙල් ප්‍රජා මූලිකයන්ට කතා කොට ඔවුන්ට මෙසේ කියන්න: ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක. නුඹලා පැමිණියේ, මාගේ කැමැත්ත ගැන මාගෙන් විමසන්න ද? මම මාගේ ජීවමාන නාමයෙන් දිවුරා කියමි: මාගෙන් කිසිවක් ප්‍රශ්න කරන්න නුඹලාට ඉඩ නොදෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="4">මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඔවුන් විනිශ්චය කරන්න සූදානම් ද? ඔවුන්ගේ පියවරුන්ගේ පිළිකුල් ක්‍රියා ඔවුන්ට දන්වමින්,</verse>
				<verse number="5">ඔවුන්ට මෙසේ කියන්න: ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මා ඉශ්රායෙල් තෝරාගත් විට, ජාකොබ්ගේ වංශයට මම පොරොන්දුවක් වීමි.</verse>
				<verse number="6">මිසර දේශයේ දී මා ඔවුන්ට ප්‍රකාශ වූ දවසේ දී, මම මෙසේ වදාළෙමි: මම නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ යැයි මිසර දේශයේ දී ඔවුන්ට දිවුරා කීවෙමි. මා ඔවුන් උදෙසා තෝරාගත්, කිරෙන් ද මී පැණියෙන් ද ඉතිරෙන, අන් සියලු දේශවලට වඩා උතුම් දේශයකට මිසර දේශයේ සිට ඔවුන් පමුණුවන්නෙමි කියා ඒ දවසෙහි මම ඔවුන්ට පොරොන්දු වුණෙමි.</verse>
				<verse number="7">“නුඹලා එකිනෙකා තම තමාගේ ඇස්වලට ප්‍රිය වූ අවකල්ක්‍රියාව පහකරදමා, මිසරයේ දේව රූපවලින් අපවිත්‍ර නොවී සිටින්න; මම නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ ය’යි ඔවුන්ට වදාළෙමි.</verse>
				<verse number="8">එහෙත් ඔව්හු මට සවන් දෙන්න කැමැති නොවී මට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය. ඔවුන් තම තමන්ගේ ඇස්වලට ප්‍රිය වූ අවකල්ක්‍රියා පහකරදැමුවේ වත්, මිසරයේ දේව රූප අත්හැරියේ වත් නැත. ඒ නිසා මම මිසර දේශයේ දී මාගේ කෝපය ඔවුන් පිට වගුරුවා මාගේ උදහස ඔවුන් කෙරෙහි පමුණුවන්නට සිතුවෙමි.</verse>
				<verse number="9">එහෙත් ඔවුන් වටකර සිටි ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසන පිණිස මම ක්‍රියා කෙළෙමි. මක්නිසා ද, ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනෙන බවට ඒ ජාතීන් ඉදිරියෙහි ඔවුන්ට මා ප්‍රකාශනයක් කළ බැවිනි.</verse>
				<verse number="10">“ ‘එබැවින්, මම ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනවුත් පාළුකරයට පැමිණෙවුවෙමි.</verse>
				<verse number="11">මාගේ ආඥා ඔවුන්ට දී මාගේ පණත් ඔවුන්ට දැන්වීමි. එසේ කෙළේ, ඒවා අනුගමනය කිරීමෙන් මිනිසුන්ට ජීවනය ලැබෙන පිණිස ය.</verse>
				<verse number="12">තවද, මම ඔවුන් විශුද්ධ කරන සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගන්න පිණිස, මා සහ ඔවුන් අතරේ සලකුණක් ව තිබෙන්න මාගේ සබත් දවස පැවැත්වීමට සැලැස්වීමි.</verse>
				<verse number="13">එහෙත්, ඉශ්රායෙල් වංශය කාන්තාරයේ දී මට විරුද්ධ ව කැරලිගසා, මාගේ ආඥා අනුව නොහැසිර, මාගේ පණත් ප්‍රතික්ෂේප කළෝ ය. ඒවා ප්‍රතික්ෂේප නොකර, ඒවා පිළිපැදීමෙන් මිනිසුන්ට ජීවනය ලැබෙනු ඇත. ඔව්හු මාගේ සබත් දවස් ද බොහෝ සෙයින් කෙලෙසුවෝ ය. එවිට ඔවුන් නැති කර දැමීමට කාන්තාරයේ දී මාගේ කෝපය ඔවුන් පිට වගුරුවන්නට සිතුවෙමි.</verse>
				<verse number="14">එහෙත්, ජාතීන්ට පෙනෙන ලෙස මා ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනා බැවින්, ඒ ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසන පිණිස මම ක්‍රියා කෙළෙමි.</verse>
				<verse number="15">තවද, මා ඔවුන්ට දුන් කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන සියලු දේශවලට වඩා උතුම් දේශයට ඔවුන් නොපමුණුවමි යි කාන්තාරයේ දී ඔවුන්ට විරුද්ධ ව අත ඔසවමි යි දිවුරා කීවෙමි.</verse>
				<verse number="16">මෙසේ කෙළේ, ඔවුන් මාගේ පණත් එපා කොට, මාගේ ආඥා ප්‍රකාර නොහැසිර, මාගේ සබත් කෙලෙසූ නිසා ය. මක්නිසා ද, ඔවුන්ගේ සිත් ඔවුන්ගේ දේව රූප දෙසට ඇදී ගියේ ය.</verse>
				<verse number="17">“ ‘එසේ වූ නමුත්, ඔවුන් විනාශ කර කාන්තාරයේ දී ඔවුන් තීන්දුවට ම නැති කර නොදමන ලෙස මම දයාවෙන් ඔවුන් දෙස බැලුවෙමි.</verse>
				<verse number="18">මම කාන්තාරයේ දී ඔවුන්ගේ දරුවන්ට කතා කොට: ‘නුඹලාගේ පියවරුන්ගේ පණත් ප්‍රකාර නොහැසිර, ඔවුන්ගේ නියෝගයන් නොපවත්වා, ඔවුන්ගේ දේව රූපවලින් අපවිත්‍ර නොවී සිටින්න.</verse>
				<verse number="19">මම නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ ය; මාගේ ආඥා ප්‍රකාර හැසිර, මාගේ පණත් අනුගමනය කර ඒවා පිළිපදින්න;</verse>
				<verse number="20">මාගේ සබත් දින ශුද්ධ ලෙස පවත්වන්න; එවිට මා නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ බව නුඹලා දැනගන්න පිණිස ඒවා මා සහ නුඹලා අතරේ සලකුණක් වන්නේ ය’යි වදාළෙමි.</verse>
				<verse number="21">“ ‘එහෙත් ඒ පරම්පරාව මට විරුද්ධ ව කැරලි ගසා, මාගේ ආඥා අනුගමනය නොකර, මිනිසුන්ට ජීවනය ගෙන දෙන ආඥාවන් අනුව නොහැසිර මාගේ සබත් දින කෙලෙසුවෝ ය. එවිට මම පාළුකරයේ දී මාගේ කෝපය ඔවුන් පිට වගුරුවා මාගේ උදහස ඔවුන් කෙරෙහි පමුණුවන්නට සිතුවෙමි.</verse>
				<verse number="22">එහෙත්, මා එසේ කිරීමෙන් වැළකී, ජාතීන්ට පෙනෙන ලෙස මා ඔවුන්, මිසර දේශයෙන් පිටතට ගෙනා බැවින් ඒ ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසන පිණිස මම එය ක්‍රියාත්මක නොකෙළෙමි.</verse>
				<verse number="23">තවද, මම ඔවුන් ජාතීන් අතරට පන්නා දේශවල විසුරුවමි යි කියා පාළුකරයේ දී මාගේ අත ඔසවා දිවුරා ඔවුන්ට කීවෙමි.</verse>
				<verse number="24">මා එසේ කෙළේ ඔවුන් මාගේ පණත් නොපිළිපැද, මාගේ ආඥා ප්‍රතික්ෂේප කොට, මාගේ සබත් දවස කෙලෙසූ නිසාත්, ඔවුන්ගේ ඇස් ද තමන්ගේ පියවරුන්ගේ දේව රූප දෙස යොමු වී තිබුණ නිසාත් ය.</verse>
				<verse number="25">“ ‘එබැවින් මමත් යහපත් නුවූ ආඥා ද ජීවනය දීමට හැකි නොවන පණත් ද ඔවුන්ට දිනිමි.</verse>
				<verse number="26">තවද දේවරූපවලට පුදන ලද ඔවුන්ගේ ම පඬුරුවලින් ඔවුන් දූෂණය වන්නට මම ඉඩ හැරියෙමි. ඔවුන් භීතියෙන් තැති ගන්වන පිණිස ඔවුන්ගේ කුලුඳුල් පුත්‍රයන් ගිනි පූජා කරන්න ඉඩ හැරියෙමි. එසේ කෙළේ, මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගන්න පිණිස ය.</verse>
				<verse number="27">“ ‘එබැවින් මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශයට කතා කොට මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹලාගේ පියවරු මට විරුද්ධ ව ද්‍රෝහිකමක් කිරීමෙන් මෙසේ මට තවත් අපහාස කළෝ ය.</verse>
				<verse number="28">ඔවුන්ට දෙන ලෙස මා අත ඔසවා දිවුරුම් දුන් දේශයට මා ඔවුන් පැමිණෙවූ කල, ඔවුන් දුටු සියලු උස් හෙල් ද අතු පතර ඇති සියලු ගස් ද ඉදිරියෙහි ඔව්හු තමන්ගේ පූජා ඔප්පු කළහ; එසේ පඬුරු පිදීමෙන් ඔව්හු මා උදහසට පත් කළහ. එහි ඔව්හු තමන්ගේ සුගන්ධ ද්‍රව්‍ය පතුරුවා එහි ම තමන්ගේ පාන පූජා වැගිරෙවුවෝ ය.</verse>
				<verse number="29">මම ඔවුන්ගෙන් මෙසේ ඇසුවෙමි: නුඹලා යන ගිරිකුළු දේවාල මොනවා ද? ඊට උස් වූ ස්ථානය යන අරුත ඇති ‘බාමා’ යන නම අද දවස දක්වා කියති.</verse>
				<verse number="30">එබැවින් ඉශ්රායෙල් සෙනඟට මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹලාගේ පියවරුන් කළාක් මෙන් දෙවි දේවතා වැඳීමෙන් හා වේශ්‍යාකම් කිරීමෙන් නුඹලා තමන් ම අපවිත්‍ර කරගන්නහු ද?</verse>
				<verse number="31">නුඹලාගේ පුත්‍රයන් ගින්නෙහි පූජා කරමින් නුඹලාගේ පඬුරු ඔප්පු කරන කල, නුඹලා අද දක්වා නුඹලාගේ සියලු දේව රූප කරණකොටගෙන කිළුටු වන්නහු ද? කරුණු මෙසේ ව තිබිය දී ඉශ්රායෙල් ජනයෙනි, නුඹලා තවමත් මාගේ කැමැත්ත විමසන පිණිස පැමිණෙන්නහු ය. මාගේ ජීවමාන නාමයෙන් දිවුරා නුඹලාට මාගෙන් විමසන්න ඉඩ නොදෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="32">‘අපි විජාතීන් මෙන් ද රටවල ගෝත්‍ර මෙන් ද ලීවලටත්, ගල්වලටත් නමස්කාර කරමු’යි නුඹලාගේ සිත්හි ඇති අදහස කිසි කලක ඉටු වන්නේ ම නැත.” ‘</verse>
				<verse number="33">“මම මාගේ ජීවමාන නාමයෙන් දිවුරමින්, ප්‍රබල බාහුවෙන් ද මාගේ මුළු බලයෙන් ද මාගේ උදහස වැගිරීමෙන් ද නුඹලා කෙරෙහි රජකම් කරන්නෙමි”යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="34">“මම ජනයන් අතරෙන් නුඹලා පිටතට පමුණුවා, ප්‍රබල බාහුවෙන් ද දිගු කළ හස්තයෙන් ද උදහස වැගිරීමෙන් ද නුඹලා විසිරී සිටින දේශවලින් නුඹලා රැස් කරන්නෙමි.</verse>
				<verse number="35">‘ජන හීන මරුකතරකට’ නුඹලා ගෙනවුත්, එහි දී මුහුණට මුහුණ ලා නුඹලා විනිශ්චයට පමුණුවන්නෙමි.</verse>
				<verse number="36">මිසර දේශයේ පාළුකරයේ දී මම නුඹලාගේ පියවරුන් විනිශ්චය කළාක් මෙන් නුඹලා ද විනිශ්චයට පමුණුවන්නෙමි”යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="37">“මම නුඹලා දමනය කර මාගේ ගිවිසුමට කීකරු වන්න සලස්වන්නෙමි.</verse>
				<verse number="38">තවද, මට විරුද්ධ ව කැරලි ගසන්නන් ද ද්‍රෝහිකම් කරන්නන් ද මම නුඹලාගෙන් වෙන් කොට ඔවුන් පදිංචි වී සිටින දේශයෙන් පිට කරන්නෙමි. එහෙත්, ඔව්හු ඉශ්රායෙල් රටට ඇතුළු නොවන්නෝ ය. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.</verse>
				<verse number="39">එම්බා ඉශ්රායෙල් වංශය! මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹලා මට සවන් දෙන්නේ නැත්නම්, ගොස් එකිනෙකා තම තමන්ගේ දේව රූපවලට දැනුත් මතුත් සේවය කරන්න. එහෙත්, මාගේ ශුද්ධ නාමය නුඹලාගේ පඬුරුවලින් ද නුඹලාගේ දේව රූපවලින් ද තවත් නොකෙලෙසන්න.</verse>
				<verse number="40">මක්නිසා ද, උස් වූ ඉශ්රායෙල් කන්ද වන මාගේ ශුද්ධ කන්දේ දී මුළු ඉශ්රායෙල් වංශය වසන දේශයෙහි සිටින ඔවුන් සියල්ලන් මට සේවය කරනු ඇතැ”යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. “එහි දී මම ඔවුන් පිළිගන්නෙමි. එහි දී මම නුඹලාගේ පඬුරු ද නුඹලා ඔප්පු කරන ඉස්තරම් දීමනා ද නුඹලාගේ ශුද්ධ පූජා සමඟ මට පුදන්න නියම කරන්නෙමි.</verse>
				<verse number="41">මා ජනයන් අතරෙන් නුඹලා පිටතට පමුණුවා, නුඹලා විසිරී සිටින දේශවලින් රැස් කළ කල්හි, මිහිරි සුවඳක් කොට නුඹලා පිළිගෙන, නුඹලා මඟින් විජාතීන් ඉදිරියෙහි මා ශුද්ධවන්ත බව පෙන්වන්නෙමි.”</verse>
				<verse number="42">“නුඹලාගේ පියවරුන්ට දෙන හැටියට මාගේ අත ඔසවා දිවුළ දේශය වන ඉශ්රායෙල් රටට මා නුඹලා පැමිණෙවු කල්හි මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.</verse>
				<verse number="43">එහි දී නුඹලාගේ සියලු කල්ක්‍රියාවන් ද නුඹලා ම අපවිත්‍ර කරගත් නුඹලාගේ සියලු ක්‍රියා ද නුඹලා සිහි කොට, නුඹලා කළ නුඹලාගේ සියලු ම නපුරු ක්‍රියා නිසා නුඹලාට ම නුඹලා පිළිකුලක් වනු ඇත.</verse>
				<verse number="44">ඉශ්රායෙල් වංශය, නුඹලාගේ නපුරු කල්ක්‍රියාවල හැටියට වත්, නුඹලාගේ දූෂ්‍ය ක්‍රියාවල හැටියට වත් නොව, මාගේ නාමය නිසා නුඹලා ගැන මා ක්‍රියා කළ කල්හි මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.” මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.</verse>
				<verse number="45">සමිඳාණන් වහන්සේ මට නැවත කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ දකුණු දෙසට හරවා තබාගෙන, එයට විරුද්ධ ව දේශනය කර, දකුණු පළාතේ වනයට විරුද්ධ ව දිවැස් වැකි කියා,</verse>
				<verse number="46">දකුණු දිශාවේ වනයට මෙසේ කියන්න:</verse>
				<verse number="47">‘සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න, මම නුඹ තුළ ගින්නක් දල්වන්නෙමි. එයින් නුඹ තුළ තිබෙන සියලු අමු ගස් ද සියලු වියළි ගස් ද දැවී යන්නේ ය. ඒ ඇවිලෙන ගිනි මැලය නොනිවී, එයින් දකුණේ සිට උතුර දක්වා ඇති සියලු මුහුණු දැවෙන්නේ ය.</verse>
				<verse number="48">සමිඳාණන් වහන්සේ වන මා එය දැල් වූ බවත්, කිසිවෙකුට එය නොනිවිය හැකි බවත් සියලු දෙනා දකිනු ඇත.’ “</verse>
				<verse number="49">එහෙත්, මම කතා කොට, “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, එසේ කරන්න මට නොසැලැස්සුව මැනව; මා ප්‍රහේලිකා මඟින් කතා කරති යි සියලු දෙනා දැනට ම පැමිණිලි කරති”යි කීවෙමි.</verse>
			</chapter>
			<chapter number="21">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ ජෙරුසලම දෙසට හරවාගෙන, ශුද්ධස්ථානවලට විරුද්ධ ව දේශනා කර, ඉශ්රායෙල් දේශයට විරුද්ධ ව දිවැස් වැකි කියන්න.</verse>
				<verse number="3">ඉශ්රායෙල් දේශයට මෙසේ කියන්න: ‘සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. මෙන්න, මම නුඹට විරුද්ධ ය, මම මාගේ කඩුව කොපුවෙන් ඇද ගන්නෙමි; ධර්මිෂ්ඨයන් සහ දුෂ්ටයන් සියලු දෙනා විනාශ කරදමන්නෙමි.</verse>
				<verse number="4">මා ධර්මිෂ්ඨයන් සහ දුෂ්ටයන් සියලු දෙනා විනාශ කරදමන බැවින් දකුණේ සිට උතුර දක්වා සිටින සියල්ලන්ට විරුද්ධ ව මාගේ කඩුව කොපුවෙන් ඇදගන්නෙමි.</verse>
				<verse number="5">සමිඳාණන් වහන්සේ වන මා මාගේ කඩුව කොපුවෙන් ඇදගත් බව මනුෂ්‍ය වර්ගයා දැනගනු ඇත. නැවත එය කොපුවට දමනු නොලැබේ.’</verse>
				<verse number="6">“එබැවින් මනුෂ්‍ය පුත්‍රය, නුඹ සුසුම්ලන්න, හද දෙදරන තරමට ශෝකයෙන් ඔවුන් ඉදිරියෙහි කෙඳිරිගාන්න.</verse>
				<verse number="7">‘නුඹ කෙඳිරිගාන්නේ මන්දැ’යි ඔවුන් නුඹෙන් අසන කල මෙසේ කියන්න: ‘අපට ලැබුණ ඒ ආරංචිය නිසා ය; මන්ද, එය පැමිණි විට සියලු සිත් තැවුලට පත් වනු ඇත. සියලු අත් පණ නැති වනු ඇත; සියලු සිත් කැළඹෙනු ඇත. සියලු දණහිස් බියෙන් නැමෙනු ඇත. එය පැමිණෙන්නේ ම ය; එය සිදුවන්නේ ම ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.’ “</verse>
				<verse number="8">සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="9">“මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියමින්, ‘සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ’යි පවසන්න. ‘කඩුවක්, සැබැවින් ම කඩුවක්, මුවහත් කොට දිළිසෙමින් තිබේ.</verse>
				<verse number="10">එය මුවහත් කර තිබෙන්නේ ඝාතනය පිණිස ය. එය දිළිසෙන්නේ විදුලිය දහරක් මෙන් ය. එසේ නම්, අපට ප්‍රීති වීමට ඉඩක් නැත. මන්ද, මාගේ සෙනඟ හැම අවවාදයක් හා දඬුවමක් නොසලකා හැර ඇත.</verse>
				<verse number="11">ඒ කඩුව අතට ගන්න පිණිස මුවහත් කිරීමට දී තිබේ. මරාදමන අයගේ අතට දෙන පිණිස මේ කඩුව දිළිසෙන පරිදි මුවහත් කර තිබේ.</verse>
				<verse number="12">මනුෂ්‍ය පුත්‍රය, හඬ නඟා මොරගසන්න. මන්ද, එය මාගේ සෙනඟ පිටත්, සියලු ඉශ්රායෙල් අධිපතීන් පිටත් පැමිණියේ ය. ඔව්හු මාගේ සෙනඟ සමඟ කඩු පහරට පාවා දෙනු ලැබූ හ. එබැවින් ශෝකයෙන් පපුවට ගසාගන්න.</verse>
				<verse number="13">මන්ද, මම මාගේ සෙනඟ පරීක්ෂා කර බලන්නෙමි. ඔවුන් වරද පිළිගෙන පසුතැවිලි නොවූවොත්, මේ සියලු දේ ඔවුන් පිට පැමිණෙනු ඇත’ කියා දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="14">“එබැවින් මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියමින්, අත් දෙක එකට තට්ටු කරන්න. එවිට කඩුව නැවත නැවත පහර දෙන්නේ ය. එය මාරක කඩුවකි; බිය ගන්වන කඩුවකි; විනාශ කරන කඩුවකි.</verse>
				<verse number="15">එය මිනිසුන් අධෛර්යයටත්, දොරටු ළඟ පැකිළී වැටීමටත් සලස්වයි. විදුලිය මෙන් කාන්තිය විහිදුවන, මරාදැමීමට සුදුසු කඩුවකින් මම නගරයේ සිට තර්ජනය කරමි.</verse>
				<verse number="16">එම්බා තියුණු කඩුව! දකුණට පහර දෙන්න; වමටත් පහර දෙන්න; හැරෙන හැරෙන අතට පහර දෙන්න.</verse>
				<verse number="17">මමත් මාගේ අත් දෙක එකට ගසා, මාගේ කෝපය සංසිඳුවාගන්නෙමි. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.”</verse>
				<verse number="18">සමිඳාණන් වහන්සේ යළිත් මට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="19">“මනුෂ්‍ය පුත්‍රය, කඩු ගත් බබිලෝනියේ රජුගේ පැමිණීම සඳහා මාර්ග දෙකක් නියම කරගන්න; ඒ දෙක ම එක දේශයකින් ආරම්භ වන්නේ ය. මඟ සලකුණක් තබන්න; නුවරට පැමිණෙන මංසන්ධියෙහි ඒක පිහිටුවන්න.</verse>
				<verse number="20">කඩුව අම්මොන්වරුන්ගේ නුවර වූ රබ්බාටත්, ජුදාට සහ පවුරෙන් වට වූ ජෙරුසලමටත් පැමිණෙන පිණිස මාර්ගයක් නියම කරන්න.</verse>
				<verse number="21">බබිලෝනියේ රජ පේන අසන පිණිස මාර්ග දෙක බෙදී යන තැන දෙමංසන්ධියේ සිටිමින් ඊගස් සොලවා, තෙරාපිම් රූපවලින් විමසා, පූජා කරන ලද සතුන්ගේ අක්මාව සෝදිසි කර බැලුවේ ය.</verse>
				<verse number="22">‘ජෙරුසලම’ යන නම සටහන් කර ඇති ඊගස ඔහුගේ දකුණතට අසු වුණේ ය. යුද්ධ යන්ත්‍ර තබන්නටත් ඝාතනය කරන්න අණ කරන්නටත්, රණ හඬ නගන්නටත්, දොරටුවලට විරුද්ධ ව යුද්ධ යන්ත්‍ර තබන්නටත්, පස් කඳු ඉදි කරන්නටත්, කොටු පවුරු ගොඩනඟන්නටත් ඊගස මඟින් ඔහුට දන්වනු ලැබී ය.</verse>
				<verse number="23">ඔවුන් කරගෙන තිබුණ ගිවිසුම් නිසා, මේ පේන කීම බොරුවකැ යි ජෙරුසලම් වැසියෝ සිතති. එහෙත්, ඔවුන් සතුරන්ට අසු වන පිණිස උන් වහන්සේ ඔවුන්ගේ අයුතුකම සිහිපත් කරන සේක.</verse>
				<verse number="24">එබැවින් දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹලා නුඹලාගේ වැරදි සිහි කර නැත. නුඹලාගේ පාප හෙළි කර ඇත. නුඹලාගේ හැම ක්‍රියාවකින් ම නුඹලාගේ දුෂ්ටකම එළිදරව් වන බැවින් නුඹලා කවුරු දැ යි අමතක වී නැත. එබැවින් මම නුඹලාගේ සතුරන්ට නුඹලා පාවා දෙමි.’</verse>
				<verse number="25">“නපුරු ද දුෂ්ට ද වන ඉශ්රායෙල් අධිපතිය, නුඹට අවසන් දඬුවම් දීමේ කාලය පැමිණ ඇත.</verse>
				<verse number="26">ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘කිරීටය ගලවා දමන්න; ඔටුන්න ඉවත් කරන්න; මෙය තිබුණ අන්දමට ම නොවන්නේ ය. පහත් දේ උසස් කරන්න; උසස් දේ පහත් කරන්න.</verse>
				<verse number="27">මම නගරය නටබුන් ගොඩක් කරන්නෙමි; එසේ ය, නටබුන් ගොඩක් කරන්නෙමි. නටබුන් ගොඩක් ම කරන්නෙමි. එහෙත්, නගරයට දඬුවම් කරන්න මා තෝරාගෙන තිබෙන තැනැත්තා එන තෙක් මෙය සිදු වන්නේ නැත. ඔහු පැමිණි විට එය ඔහුගේ විනිශ්චයට පාවා දෙන්නෙමි.’</verse>
				<verse number="28">“මනුෂ්‍ය පුත්‍රය, නුඹ දිවැසි වදන් පවසමින්, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ට නින්දා කරන අම්මොන්වරුන්ට මෙසේ කියන සේකැ’යි කියන්න. ඔවුන්ට මෙසේ කියන්න: ‘කඩුවක්, සැබැවින් ම ඝාතනය පිණිස වන කඩුවක් කොපුවෙන් ඇද තිබේ. මරාදමන පිණිස එය විදුලිය මෙන් දිළිසෙයි.</verse>
				<verse number="29">නුඹලා දකින දර්ශන බොරු ය; නුඹලා පවසන දිවැස් වැකි මුසාවකි; නුඹලා නපුරු ය; දුෂ්ට ය. නුඹලාට නියම දිනය පැමිණෙන්නේ ය. එනම්, අන්තිම දඬුවම් දීමේ දවස පැමිණෙන්නේ ය.</verse>
				<verse number="30">“ ‘නුඹේ කඩුව කොපුවේ නැවත දමන්න. නුඹ මවනු ලැබූ ස්ථානයෙහි, නුඹේ උත්පත්තිය ලැබූ දේශයේ දී මම නුඹලා විනිශ්චය කරන්නෙමි.</verse>
				<verse number="31">මාගේ උදහස නුඹලා පිට වගුරුවා, මාගේ කෝපාග්නිය නුඹලා පිට පිඹ, රෞද්‍ර විනාශ කිරීමට දක්ෂ මනුෂ්‍යයන් අතට නුඹලා පාවා දෙන්නෙමි.</verse>
				<verse number="32">නුඹලා ගින්නට දර පිණිස වන්නහු ය. නුඹේ ලේ දේශය මැද වැගිරෙන්නේ ය. නුඹලා තවත් සිහි කරනු නොලබන්නහු ය. කුමක් නිසා ද, මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.’ “</verse>
			</chapter>
			<chapter number="22">
				<verse number="1">තවද, සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“මනුෂ්‍ය පුත්‍රය, නුඹ විනිශ්චය කරන්න සූදානම් ද? ලෙයින් පිරි නගරය විනිශ්චය කරන්න, නුඹ සූදානම් ද? එසේ නම් ඇගේ සෑම පිළිකුල් ක්‍රියා ඈට දන්වමින් මෙසේ කියන්න:</verse>
				<verse number="3">‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹ ලේ වගුරුවන, නුඹ ම අපවිත්‍ර වන පිණිස දේව රූපවලට නමදින, නුවරක් නිසා නුඹට අවසාන දවස පැමිණෙන්නේ ය.</verse>
				<verse number="4">නුඹ වැගිරෙවූ ලේවලින් නුඹ වරදකාරියක වී, නුඹ නමස්කාර කළ නුඹේ රූපවලින් නුඹ අපවිත්‍ර වී සිටින බැවින්, ඒ අවසාන දවස ළං කරගෙන ඇත. එබැවින්, මම නුඹ ජාතීන්ට නින්දාවක් ද සියලු ම දේශවලට සරදමක් ද කෙළෙමි.</verse>
				<verse number="5">නුඹට ළඟ පාත සිටින ජාතීහු ද දුර බැහැර සිටින ජාතීහු ද නුඹේ අවුල් වියවුල් හා අපකීර්තිය නිසා නුඹට උසුළු-විසුළු කරති.</verse>
				<verse number="6">නුඹ සමඟ විසූ ඉශ්රායෙල් අධිපතීහු සියලු දෙන එක් කෙනෙකු වත් නෑර සිය බලය ලේ වගුරුවන පිණිස පාවිච්චි කළහ.</verse>
				<verse number="7">නුඹ සමඟ වසන අය දෙමව්පියන්ට අවමන් කර ඇත. නුඹ සමඟ සිටින විදේශිකයාට බලහත්කාරයෙන් ක්‍රියා කර ඇත. නුඹ තුළ පියා නැත්තාටත්, වැන්දඹුවටත් පීඩා කර ඇත.</verse>
				<verse number="8">නුඹ මාගේ ශුද්ධ දේ හෙළා දැක මාගේ සබත් දවස් කෙලෙසුවෙහි ය.</verse>
				<verse number="9">ලේ වගුරුවන පිණිස කේළාම් කියන මනුෂ්‍යයෝ නුඹ තුළ සිටියෝ ය. සමහරු දේව රූපවලට පිදූ කෑම කෑහ; සමහරු සල්ලාලකම් කළහ;</verse>
				<verse number="10">සමහරු සිය පියාගේ බිරිඳගේ නිරුවත අනාවරණය කළහ; ඔසප් ව සිටි ස්ත්‍රීන්ට බලහත්කාරකම් කළහ.</verse>
				<verse number="11">ඇතැමෙක් තමාගේ අසල්වාසියාගේ භාර්යාව සමඟ දුරාචාරයෙහි යෙදුණාහ. අනිකෙක් තමාගේ ලේලී සල්ලාලකමින් අපවිත්‍ර කළහ. තවත් කෙනෙක් තම පියාගේ දුව වූ තමාගේ සහෝදරියට අතවර කළහ.</verse>
				<verse number="12">සමහරු ලේ වගුරු වන පිණිස අල්ලස් ගත්හ. නුඹ පොලී සහ ලාභ ගෙන, නුඹේ අසල්වැසියාගෙන් අයුක්තියෙන් ලාභ උපදවාගෙන මා අමතක කෙළෙහි ය. මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.</verse>
				<verse number="13">“ ‘එබැවින් නුඹ ලබාගත් අයුතු ලාභ නිසාත්, නුඹ ඇතුළෙහි වූ නුඹේ ලේ වැගිරීම් නිසාත් මාගේ මිට මොළවා පහර දෙන්නෙමි.</verse>
				<verse number="14">නුඹට විරුද්ධ ව ක්‍රියා කරන දවස්වල දී නුඹට ධෛර්යය ද අත ඔසවන්න ශක්තිය ද ඇති වේ ද? සමිඳාණන් වහන්සේ වන මම ඒ දේ කීමි. එලෙස ම කරන්නෙමි.</verse>
				<verse number="15">මම නුඹ විජාතීන් අතරට පන්නාදමා, නුඹ විදේශවලට විසුරුවා හැර නුඹේ අපවිත්‍රකම නුඹෙන් පහකර දමන්නෙමි.</verse>
				<verse number="16">අන්‍ය ජාතීන් නුඹට නින්දා අපහාස කරනු ඇත. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹ දැනගන්නෙහි ය.’ “</verse>
				<verse number="17">තවද, සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="18">“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශය ලෝහවල බොර හා සමාන ය. උදුනක රිදී පිරිසිදු කළ පසු ඉතිරි වන තඹ, බෙලෙක්, යකඩ සහ ඊයම් බොර හා සමාන ය.</verse>
				<verse number="19">එබැවින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න, නුඹලා සියල්ලන් ම ලෝහවල බොර මෙන් වී සිටින නිසා නුඹලා ජෙරුසලම තුළට එකතු කරන්නෙමි.</verse>
				<verse number="20">රිදී ද තඹ ද යකඩ ද ඊයම් ද බෙලෙක් ද ගිනි පිඹ උණු කරන පිණිස උදුන තුළට එකතු කරන්නාක් මෙන් මම නුඹලා එකතු කර මාගේ උදහසින් ද කෝපාග්නියෙන් ද උණු කරන්නෙමි.</verse>
				<verse number="21">මම නුඹලා රැස් කර මාගේ කෝපාග්නිය නුඹලා පිට පිඹින්නෙමි. නුඹලා එය තුළ උණු වන්නහු ය.</verse>
				<verse number="22">උදුන තුළ රිදී උණු වෙන්නාක් මෙන් නුඹලා නගරය තුළ උණු වන්නහු ය. එවිට සමිඳාණන් වහන්සේ වන මා, මාගේ කෝපය නුඹලා කෙරෙහි වැගිරවූ බව නුඹලා දැනගනු ඇත.”</verse>
				<verse number="23">සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="24">“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල්වරුන්ට මෙසේ කියන්න: නුඹලාගේ දේශය අපිරිසිදු ය. ඒ නිසා මම උදහසින් එයට දඬුවම් කරන්නෙමි.</verse>
				<verse number="25">එහි වෙසෙන ප්‍රධානීහු වූකලී, ගොදුරු කොටගත් සතුන් ඉරමින් ගොරවන සිංහයන් වැනි ය. ඔව්හු මිනිසුන් කාදමා ඔවුන්ගේ වස්තු ද මැණික් ද පැහැරගෙන ඒ තුළ වැන්දඹුවන්ගේ ගණන වැඩි කර ඇත.</verse>
				<verse number="26">ඇගේ පූජකයෝ මාගේ ව්‍යවස්ථාව කඩ කොට මාගේ ශුද්ධ දේ කෙලෙසූ හ. ඔවුන් කැප දේ ද අකැප දේ ද අතරේ වෙනසක් කෙළේ වත්, අපවිත්‍ර දේ ද පවිත්‍ර දේ ද අතරේ තිබෙන වෙනස දැන්නුවේ වත් නැත; මාගේ සබත් දවස් ඔව්හු නොසලකා හැරියෝ ය. මෙසේ ඔවුන් අතරෙහි මට අගෞරව පැමිණියේ ය.</verse>
				<verse number="27">ඒ නගරය තුළ අධිපතීහු අයුතු ලාභ ලබාගන්න පිණිස ලේ වැගිරීමටත්, ප්‍රාණ නැති කිරීමටත් සිටින, ගොදුර ඉරාදමන වෘකයන්ට සමාන ය.</verse>
				<verse number="28">එහි දිවැසිවරු ද මායම්කාර දර්ශන දැක, බොරු පේන පවසා, සමිඳාණන් වහන්සේ කතා නොකළ නමුත්, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක’ කියා බිත්තියක හුණු ගාන්නාක් මෙන් සිය පාප වසන් කරගත්හ.</verse>
				<verse number="29">දේශයේ සෙනඟ බලහත්කාරකම් කොට කොල්ලකෑහ; අසරණයාට ද දිළින්දාට ද පීඩා කළහ; අයුතු ලෙස විදේශිකයාට බලහත්කාරකම් කළහ.</verse>
				<verse number="30">දේශය නාස්ති නොකරන පිණිස පවුරක් ගොඩනඟා දේශය ආරක්ෂා කරන පිණිස කපොලුවල සිටිය හැකි මිනිසෙකු මම ඔවුන් අතරේ සෙවීමි. එහෙත්, කිසිවෙක් මට සම්බ නො වී ය.</verse>
				<verse number="31">එබැවින්, මාගේ කෝපය ඔවුන් කෙරෙහි වගුරුවා, මාගේ කෝපාග්නියෙන් ඔවුන් විනාශ කරදමා ඔවුන්ට යුතු දඬුවම ඔවුන් පිට පැමිණෙව්වෙමි. මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”</verse>
			</chapter>
			<chapter number="23">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“මනුෂ්‍ය පුත්‍රය, එක කුසේ උපන් දූවරු දෙදෙනෙක් සිටියහ.</verse>
				<verse number="3">ඔවුන්ගේ යොවුන් වියේ දී ම ඔව්හු මිසරයේ දී වේශ්‍යාකම් කළහ. ඔවුන්ගේ පියයුරු එහි දී මිරිකනු ලැබී ය; එහි දී ඔවුන්ගේ කුමරි වියෙහි තනපුඩු පිරිමදිනු ලැබී ය.</verse>
				<verse number="4">වැඩිමල් තැනැත්තිගේ නම ඔහොලා ය; ඇගේ සහෝදරීගේ නම ඔහොලීබා ය. මම ඔවුන් සරණකොටගතිමි; ඔව්හු මාගෙන් දරුදැරියන් ලැබූ හ. ඔහොලා යන නමින් සමාරිය ද ඔහොලීබා නමින් ජෙරුසලම ද අදහස් කෙරේ.</verse>
				<verse number="5">ඔහොලා මට අයිති ව සිටිය දී වේශ්‍යාකම් කළා ය. ඇගේ පෙම්වතුන් වන අසිරියන්වරුන්ට ඈ ආලය කළා ය.</verse>
				<verse number="6">ඈ, සිත්ගන්න සුලු තරුණ අශ්වාරෝහකයන් වූ රාජකීය වස්ත්‍ර හැඳගත් අසිරියන් ජාතික ප්‍රභූවරුන්ට ද නිලධාරීන්ට ද අධිපතීන්ට ද අධික ආලයෙන් බැඳුණා ය.</verse>
				<verse number="7">ඔහොලා අසිරියාවේ උත්තමයන් වූ ඔවුන් සියල්ලන් සමඟ වේශ්‍යාකම් කළා ය. ඈ ආලය කළ සියල්ලන්ගේ සියලු දේව රූපවලින් ද ඈ අපවිත්‍ර වූවා ය.</verse>
				<verse number="8">ඈ මිසරයේ දී පටන්ගත් ඇගේ වේශ්‍යාකම අත්හැරියේ නැත; කුමක්නිසා ද, ඇගේ යෞවන වියෙහි දී ඔව්හු ඇය සමඟ සේවනයෙහි යෙදුණාහ. මොවුහු ද ඇගේ කුමරි වියෙහි තනපුඩු පිරිමැද ඔවුන්ගේ කාමාශාවට තෘප්තිය ඇගෙන් ලබාගත්තෝ ය.</verse>
				<verse number="9">එබැවින් ඇගේ පෙම්වතුන් වන ඈ ආලය කළ අසිරියන්වරුන් අතට මම ඇය පාවා දිනිමි.</verse>
				<verse number="10">මොවුහු ඇය නග්නකර, ඇගේ දූ පුතුන් රැගෙන ගොස් ඈ කඩුවෙන් මැරූ හ. ඇය ලත් නිසි විනිශ්චය ගැන සෑම තැන ම ස්ත්‍රීහු ඕපාදූප කී හ.</verse>
				<verse number="11">“ඇගේ සහෝදරී, ඔහොලීබා මෙය දුටු නමුත්, ඔහොලාට වඩා ඇගේ කාමරාගයත්, වේශ්‍යාකමත් අතිශයෙන් නින්දිත විය.</verse>
				<verse number="12">ඈ ද අලංකාර වස්ත්‍ර හැඳගත් අසිරියන් ජාතික ප්‍රභූවරුන්ට ද නිලධාරීන්ට ද යුද ඇඳුමෙන් සැරසුණ අධිපතීන්ට ද එමෙන් ම අශ්වාරෝහකයන්ට ද අධික ආලයෙන් බැඳුණා ය. ඔව්හු සියල්ලෝ සිත්ගන්න සුලු තරුණයෝ වූ හ.</verse>
				<verse number="13">ඇගේ අනාචාරය මම දිටිමි. සහෝදරියෝ දෙදෙනා ම එක ම අවකල්ක්‍රියාවේ යෙදුණාහ.</verse>
				<verse number="14">“ඈ මිනිසුන්ගේ රූප එනම්, ස්වරූප, තද රතු පාටින් බිත්තිවල සිතියම් කර තිබෙනු දුටු විට ඔහොලීබා ඇගේ වේශ්‍යාකමෙහි කිඳා බැස සිටියා ය.</verse>
				<verse number="15">ඔවුන්ගේ ඉඟටිවල ඉඟපටි බැඳ, අලංකාරවත් තලප්පා ඔවුන්ගේ හිස්වල දවටා තිබුණේ ය. ඔව්හු සියල්ලෝ ම පෙනීමේ හැටියට බබිලෝනියේ උපන් වංශාධිපති බබිලෝනිවරු වූ හ.</verse>
				<verse number="16">ඈ ඔවුන් දුටු වහා ම කාමරාගයෙන් පිරී, ඔවුන් වෙත බබිලෝනියට පණිවුඩකාරයන් යැව්වා ය.</verse>
				<verse number="17">බබිලෝනිවරු ද ඇගේ යහනේ ඈ සමඟ කම්සැපතෙහි යෙදී කාමරාගයෙන් ඈ දූෂණය කළහ. ඈ ඔවුන් කරණකොටගෙන දූෂණය වූ පසු ඈ ඔවුන් පිළිකුල් කරමින් ඔවුන්ගෙන් ඈත් වූවා ය.</verse>
				<verse number="18">ඈ මෙසේ ඇගේ වේශ්‍යාකම් ප්‍රසිද්ධියේ කරමින් තම නිරුවත්කම දැක්වූ විට, මම ඇගේ සහෝදරිය වෙතින් පිළිකුල් සිතින් හැරුණාක් මෙන් ඈ කෙරෙන් ද හැරුණෙමි.</verse>
				<verse number="19">එහෙත්, ඈ මිසර දේශයේ දී තරුණ වියේ දී කළ වේශ්‍යාකම් සිහි කරමින් තවතවත් ඇගේ වේශ්‍යාකම් වැඩි කළා ය.</verse>
				<verse number="20">ඈ පෙම්වතුන් සමඟ ආලයෙන් බැඳී ඇගේ කාමරාගය කොටළුවන්ගේ ලිංගේන්ද්‍රිය මෙන් ද අසුන්ගේ ධාතු වැගිරීම මෙන් ද වැගිරීමෙන් වේගවත් කරගත්තා ය.</verse>
				<verse number="21">මෙසේ ඔහොලීබා, නුඹ තරුණ වියේ මිසර දේශයේ මිනිසුන් නුඹේ පියයුරු අතගාමින්, පිරි මදිමින් සිටි කාලයේ දී නුඹ කළ අනාචාරය යළිත් කරන්න ආශා කෙළෙහි ය.”</verse>
				<verse number="22">එබැවින් එම්බා ඔහොලීබා! මහෝත්තම ස්වාමීන් වූ දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: “මෙන්න, නුඹේ සිතෙන් නුඹ පිළිකුල් කළ නුඹේ ප්‍රේමවන්තයන් මම නුඹට විරුද්ධ ව පොළඹවා, ඔවුන් නුඹට විරුද්ධ ව හාත්පසින් පමුණුවන්නෙමි.</verse>
				<verse number="23">ඔව්හු නම්, බබිලෝනිවරු සහ සියලු ම කල්දිවරු ද පෙකොඩ් ද ෂෝවා ද කෝවා ද ඔවුන් සමඟ අෂූර්වරු ද යන අය ය. ඔව්හු වනාහි මනා පෙනුමක් ඇති තරුණයෝ ය; ආණ්ඩුකාරයෝත් මුලාදෑනියෝත් ය; ඔව්හු සියල්ලෝ ම අධිපතියෝ ය; අසුන් පිට නැඟීයන කීර්තිමත් අශ්වාරෝහකයෝ ය.</verse>
				<verse number="24">ඔවුන් නුඹට විරුද්ධ ව උතුරු දේශයෙන් ආයුධ සහ රථ ද ගැල් ද ජන සමූහයක් ද ඇති ව අවුත්, පලිහ සහ කුඩා පලිහ ද යුද හිස් වැසුම් ද ඇති ව නුඹට විරුද්ධ ව හාත්පසින් සිටිනු ඇත. ඔවුන්ගේ නීති අනුව නුඹ විනිශ්චය කරන පිණිස මම ඔවුන්ට නුඹ භාර දෙන්නෙමි.</verse>
				<verse number="25">මාගේ කෝපය නුඹට විරුද්ධ ව යොමු කරමි. ඔව්හු ද නුඹ සමඟ උදහසින් ක්‍රියා කොට, නුඹේ නාස් හා කන් කපාදමති. නුඹේ පවුලේ ඉතිරි අය ද කඩු පහරින් හෙළාදමනු ඇත. ඔවුන් නුඹේ පුත්‍රයන් ද නුඹේ දූවරුන් ද පැහැරගෙන යනු ඇත. නුඹේ ඉතිරි දේ ගින්නෙන් නාස්ති වන්නේ ය.</verse>
				<verse number="26">ඔවුන් නුඹේ වස්ත්‍ර නුඹෙන් ගලවාගෙන, නුඹේ අලංකාර ආභරණත් පැහැරගනු ඇත.</verse>
				<verse number="27">මෙසේ නුඹේ සල්ලාලකම ද නුඹ මිසර දේශයේ දී පටන්ගත් නුඹේ වේශ්‍යාකම ද නුඹෙන් නවත්වන්නෙමි. නුඹ ඔවුන් දෙස තවත් නොබලන්නෙහි ය. මිසරය තවත් සිහි නොකරන්නෙහි ය.</verse>
				<verse number="28">“කුමක් නිසා ද මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹ ද්වේෂ කරන, නුඹේ සිතෙන් පහකළ අයගේ අතට මම නුඹ පාවා දෙමි.</verse>
				<verse number="29">ඔවුන් නුඹ ද්වේෂ සහගත ව සලකා, නුඹ වෙහෙස මහන්සියෙන් ලත් ප්‍රතිඵල සියල්ල පැහැරගෙන, නුඹ නග්න කොට, වෙසඟනක සේ පෙනෙන්න තබා යනු ඇත. නුඹේ වේශ්‍යාකම ද නුඹේ සල්ලාලකම ද නිසා මේ දේ නුඹ පිට පැමිණ ඇත.</verse>
				<verse number="30">එසේ වන්නේ, නුඹ ජාතීන් සමඟ වේශ්‍යාකම් කොට ඔවුන්ගේ රූපවලින් අපවිත්‍ර වූ නිසා ය.</verse>
				<verse number="31">නුඹේ සහෝදරීගේ මාර්ගයෙහි නුඹ ගිය බැවින් ඇගේ දඬුවම් නමැති කුසලාන නුඹේ අතට දෙමි.</verse>
				<verse number="32">“ ‘මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය. ගැඹුරු ව පළල් ව තිබෙන නුඹේ සහෝදරීගේ කුසලානෙන් නුඹ බොන්නෙහි ය. එය පිරී තිබෙන බැවින් සියලු දෙනා නුඹට උසුළු-විසුළු කරනු ඇත.</verse>
				<verse number="33">නුඹ වෙරිමතින් හා සෝදුකින් පිරෙන්නෙහි ය. එය බියජනක වනසන සුලු කුසලානකි. ඒ වනාහි සමාරිය නම් නුඹේ සහෝදරීගේ කුසලාන ය.</verse>
				<verse number="34">නුඹ ඒවා අවසන් පොද දක්වා උරා බී හිස් කරනු ඇත. ඒ බඳුන කැබලිවලට කඩා ඒ කැබලිවලින් නුඹේ පියයුරු ඉරාගෙන ඇත. කුමක් නිසා ද, එය වදාළේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මම ය.</verse>
				<verse number="35">නුඹ මා අමතක කර මට පිටුපා ගිය බැවින් නුඹේ සල්ලාලකමේ සහ වේශ්‍යාකමේ දුර්විපාකය නුඹ ම දරන්නෙහි ය’ කියා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”</verse>
				<verse number="36">සමිඳාණන් වහන්සේ මට තවදුරට කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඔහොලා සහ ඔහොලීබා විනිශ්චය කරන්නෙහි ද? එසේ නම්, ඔවුන්ගේ පිළිකුල් ක්‍රියා ඔවුන්ට දන්වන්න.</verse>
				<verse number="37">ඔවුන් කාමමිථ්‍යාචාරය කර ඇත; මිනී මරා ඇත; ඔවුන් තමන්ගේ පිළිම සමඟ කාමමිථ්‍යාචාරය කර ඇත; ඔවුන් මා උදෙසා ලැබූ පුත්‍රයන් වුව ද ආහාර පිණිස ඒ පිළිමවලට පූජා කර ඇත.</verse>
				<verse number="38">ඔව්හු තවදුරටත් මට මෙසේ කළහ. එම දවසේ ඔව්හු මාගේ ශුද්ධස්ථානය අපවිත්‍ර කොට, මාගේ සබත් දවස කෙලෙසූ හ.</verse>
				<verse number="39">ඔව්හු තමන්ගේ පිළිමවලට තමන්ගේ පුත්‍රයන් මරා පිදූ පසු මාගේ ශුද්ධස්ථානය කෙලෙසූ ලෙස එම දවසේ ම ඊට ඇතුළු වූ හ. එසේ ය, මාගේ මාලිගාව මැද ඔව්හු මෙසේ කළහ.</verse>
				<verse number="40">“තවද ඔව්හු දුර බැහැර සිටින මිනිසුන් කැඳවා ඔවුන් වෙත පණිවුඩකාරයෙකු යැවූ හ. ඔව්හු ද පැමිණියෝ ය. නුඹ ඔවුන් නිසා ස්නානය කර, නුඹේ ඇස්වල අඳුන් ගා ආභරණ පැළඳගෙන අලංකාර යහනක ඉඳගත්තෙහි ය.</verse>
				<verse number="41">එය ඉදිරිපිට පිළියෙළ කරන ලද මේසයක් උඩ නුඹ මාගේ සුවඳ ද්‍රව්‍ය ද මාගේ තෙල් ද තැබුවෙහි ය.</verse>
				<verse number="42">එවිට නිදැල්ලේ සිටින සමූහයන්ගේ ප්‍රීති ප්‍රමෝද හඬ ඇසිණි. සාමාන්‍ය ජනයා හැරුණ විට පාළුකරයෙන් ගෙනෙන ලද නිදැල්ලේ වෙසෙන අය ද සිටියෝ ය. ඔව්හු කාන්තාවන්ගේ අත්වල වළලු දමා, ඔවුන්ගේ හිස් පිට අලංකාර ඔටුනු තැබූ හ.</verse>
				<verse number="43">එවිට ‘කම්සැපෙහි යෙදීමෙන් විඩා වී සිටින ඇය වැනි තැනැත්තියක සමඟ ඔවුන් දැන් වේශ්‍යාකම් කරනු ඇද්දැ’යි ඈ ගැන මම ඇසීමි.</verse>
				<verse number="44">වේශ්‍යාවක වෙත මෙන් ඔව්හු ඈ වෙත ගියහ. එසේ ඒ සල්ලාල ස්ත්‍රීන් වන ඔහොලා සහ ඔහොලීබා වෙත ඔව්හු පැමිණියෝ ය.</verse>
				<verse number="45">එබැවින් කාමමිථ්‍යාචාරික ස්ත්‍රීන් විනිශ්චය කරන ප්‍රකාරයටත්, ලේ වගුරුවන ස්ත්‍රීන් විනිශ්චය කරන ප්‍රකාරයටත් ධර්මිෂ්ඨ මනුෂ්‍යයෝ ඔවුන් විනිශ්චය කරන්නෝ ය. කුමක්නිසා ද, ඔව්හු කාමමිථ්‍යාචාරික ස්ත්‍රීහු ය; ඔවුන්ගේ අත්වල ලේ තැවරී ඇත.</verse>
				<verse number="46">“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම ඔවුන්ට විරුද්ධ ව කලහකාරී සෙනඟක් පමුණුවා, පීඩා විඳීමටත්, කොල්ලකනු ලැබීමටත් ඔවුන් පාවා දෙන්නෙමි.</verse>
				<verse number="47">ඒ සෙනඟ ඔවුන්ට ගල් ගසා, තමන්ගේ කඩුවලින් ඔවුන් කපාදමා, ඔවුන්ගේ දූ දරුවන් මරාදමා, ඔවුන්ගේ ගෙවල් ගින්නෙන් දවාලන්නෝ ය.</verse>
				<verse number="48">මෙසේ මම දේශයෙන් සල්ලාලකම පහ කරන්නෙමි; ඔවුන්ට මෙන් සෙසු ස්ත්‍රීන්ට සල්ලාලකම් නොකරන්න උගන්වනු ලැබේ.</verse>
				<verse number="49">නුඹලාගේ සල්ලාලකමේ දුර්විපාකය නුඹලා පිට පමුණුවනු ඇත; පිළිම නැමදීමේ පාපයට දඬුවම් ලැබෙනු ඇත. එවිට මා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.’ “</verse>
			</chapter>
			<chapter number="24">
				<verse number="1">නව වන අවුරුද්දේ දස වන මාසයේ දස වන දා සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“මනුෂ්‍ය පුත්‍රය, මේ දවස එනම්, මේ අද දවස සටහන් කර තබන්න. බබිලෝනියේ රජ මේ දින ම ජෙරුසලම වටලා ඇත.</verse>
				<verse number="3">මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘කැරලිකාර වංශයට උපමාවක් කියන්න. හැළිය ලිපේ තබාගන්න; ඊට වතුර වත්කරන්න.</verse>
				<verse number="4">එයට මස් කෑලි දමන්න. ඉතා හොඳ කෑලි වන පස්සා ගාතය ද ඉස්සරහ ගාතය ද ඉතා හොඳ කටු ද එයට පුරවන්න.</verse>
				<verse number="5">ඒක යට දර ගොඩ ගසන්න. වතුර උතුරුවන්න. එළු බැටළු රැළෙන් ඉතා හොඳ එකෙකුගෙන් ගත් කටු හා මස් තම්බන්න.</verse>
				<verse number="6">“ ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මිනීමරු නුවරට වන විපතක මහත! එය කිසි කලක ශුද්ධ නොකළ මලකඩ කෑ හැළියක් වැනි ය. එයින් එක එක කෑල්ල නොතෝරා එළියට ගන්න.</verse>
				<verse number="7">කුමක් නිසා ද, වගුළ ලේ තවමත් නගරයෙහි ම ඇත. ඈ ඒ ලේ පස්වලින් වැසී යන්න පොළොව පිට නොවගුරුවා පස් නැති පර්වත උඩ වැගිරෙව්වා ය.</verse>
				<verse number="8">මාගේ කෝපය උතුරා යන පිණිසත්, පළිගන්න පිණිසත් ඈ වගුළ ලේ සැඟවිය නොහැකි ලෙස මම පර්වතය උඩ තැබීමි.</verse>
				<verse number="9">“ ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මිනීමරු නුවරට වන විපතක මහත! මම මහා දර සෑයක් ගොඩ ගසන්නෙමි.</verse>
				<verse number="10">බොහෝ දර දමා, ගිනි දල්වා, මස් තම්බා, වතුර හිස් කර රසකාරක මිශ්‍ර කර කටු පුළුස්සාදමන්න.</verse>
				<verse number="11">ඉන්පසු හිස් ලෝකඩ හැළිය රත් වී ගිනියම් වී, එහි අපවිත්‍රකම ඒ තුළ උණු වී, එහි මලකඩ නැති වී යන පිණිස ඒක ගිනි අඟුරු මත තබන්න.</verse>
				<verse number="12">මම නිකරුණේ වෙහෙස වීමි. කුමක් නිසා ද, ජෙරුසලම, නුඹේ මලකඩ නමැති නුඹේ දූෂිත ක්‍රියා නුඹෙන් පහ ව නොයයි; ඒවා ගින්නෙන් වුව ද පහ ව නොයයි.</verse>
				<verse number="13">ජෙරුසලම, නුඹේ අපවිත්‍රකමෙන් නුඹ දූෂණය වී ඇත. මා නුඹ පිරිසිදු කරමින් සිටි නමුත්, නුඹේ අපවිත්‍රකමෙන් නුඹ පිරිසිදු වූයේ නැත; මාගේ කෝපය සම්පූර්ණයෙන් පහ වන තුරු මම තවත් නුඹ පිරිසිදු නොකරන්නෙමි;</verse>
				<verse number="14">මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මම එය කීවෙමි; එය සිදු වන්නේ ම ය. මම එය කරන්නෙමි. මා පසුබට වන්නේ වත්, දයාව දක්වන්නේ වත් නැත; නුඹේ කල්ක්‍රියාවේ හැටියට නුඹ විනිශ්චය කරනු ලබනු ඇත. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙය වදාරන සේක.’ “</verse>
				<verse number="15">සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="16">“මනුෂ්‍ය පුත්‍රය, මෙන්න, නුඹ ඉතා ප්‍රේම කරන තැනැත්තිය හදිසියේ ම නුඹෙන් ඉවත් කරගනිමි. එහෙත්, නුඹ විලාප නොකිය යුතු ය; නොහැඬිය යුතු ය; නුඹේ කඳුළු නොවැගිරිය යුතු ය.</verse>
				<verse number="17">නිහඬ ව සුසුම්ලන්න; මළවුන් ගැන නොවැලපෙන්න; නුඹ නුඹේ ජටාව හිසේ බැඳ ගන්න; නුඹේ වහන් පාදවල දමාගන්න. මුහුණ වසා නොගන්න; මළගෙදර දානය නොකා සිටින්න.”</verse>
				<verse number="18">මම උදයේ සෙනඟට කතා කෙළෙමි; සවස මාගේ භාර්යාව මළා ය. මට අණ කළ ලෙස පසු දින උදයේ දී මම කෙළෙමි.</verse>
				<verse number="19">සෙනඟ ද කතා කරමින්, “නුඹ කරන මේ දේ අපට තේරුම්ගන්න පුළුවන් හැටියට නුඹ අපට නොකියන්නෙහි දැ”යි මාගෙන් ඇසූ හ.</verse>
				<verse number="20">එවිට මම ඔවුන්ට කතා කෝට මෙසේ කීමි; “සමිඳාණන් වහන්සේ මට කතාකොට මෙසේ වදාළ සේක. ‘දෙවි ස්වාමීන් වහන්සේ, ඉශ්රායෙල් වංශයට මෙසේ වදාරන සේක.</verse>
				<verse number="21">බලන්න, මම නුඹලාගේ උදාර අභිමානය ද නුඹලාගේ නෙත් පිනවන සම්පත ද නුඹලාගේ මන පිනවන අලංකාරය ද වන ශුද්ධස්ථානය කෙලෙසන්නෙමි; නුඹලා අත්හැර ආ නුඹලාගේ දරුදැරියෝ කඩු පහරින් වැටෙන්නෝ ය.</verse>
				<verse number="22">මා කළාක් මෙන් නුඹලාත් කරනු ඇත. නුඹලා මුහුණ වසා නොගෙන, මළ ගෙදර දානය නොකා සිටිනු ඇත.</verse>
				<verse number="23">නුඹලාගේ ජටාව නුඹලාගේ හිස්වල ද නුඹලාගේ පා වහන් නුඹලාගේ පාදවල ද වන්නේ ය. නුඹලා විලාප කියන්නේ වත්, අඬන්නේ වත් නැත; නුඹලාගේ අයුතුකම්වලින් නුඹලා ක්ෂය වී ගොස්, එකිනෙකා දෙස බලා සුසුම්ලනු ඇත.</verse>
				<verse number="24">මෙසේ එසකියෙල් නුඹලාට සලකුණක් වන්නේ ය; ඔහු කළ සියල්ල ලෙස නුඹලා ද කරනු ඇත. මෙය පැමිණි කළ මා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.</verse>
				<verse number="25">“ ‘ඉතින් මනුෂ්‍ය පුත්‍රය, ඔවුන්ගේ බලය ද සොම්නස හා කීර්තිය ද ඔවුන්ගේ නෙත් සිත් පිනවන දෑ හා දරුදැරියන් මා ඔවුන්ගෙන් පැහැරගන්න දවසේ දී,</verse>
				<verse number="26">විනාශයෙන් මිදී පලා යන්නෙකු ඒ පුවත දන්වන්න නුඹ වෙත එනු ඇත.</verse>
				<verse number="27">ඒ දවසේ දී නැති වී ගිය නුඹේ කතා ශක්තිය නුඹට ලැබී, තවත් ගොළු ව නොසිට නුඹ ඒ තැනැත්තා සමඟ කතා කරනු ඇත. මෙසේ නුඹ ඔවුන්ට සලකුණක් වන්නෙහි ය; ඔවුන් මා සමිඳාණන් වහන්සේ බව දැනගනු ඇත.’ “</verse>
			</chapter>
			<chapter number="25">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ අම්මොන්වරුන් දෙසට හරවාගෙන, ඔවුන්ට විරුද්ධ ව දිවැස් වැකි කියමින් මෙසේ කියන්න:</verse>
				<verse number="3">‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේගේ වචනය අසන්න; දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ ශුද්ධස්ථානය කෙලෙසනු ලැබූ විට, ඊට විරුද්ධ ව ද ඉශ්රායෙල් රට පාළු වී තිබෙන නිසා, ඊට විරුද්ධ ව ද ජුදා වංශය වහල්කමට ගිය නිසා, ඔවුන්ට විරුද්ධ ව ද නුඹ ඉතා ප්‍රීති ප්‍රමෝද වූ බැවින්,</verse>
				<verse number="4">මම නැගෙනහිර දිශාවේ වැසියන්ට අයිති කරගන්න නුඹ පාවා දෙන්නෙමි. ඔවුන් නුඹ තුළ තමන්ගේ කඳවුරු බැඳ, තමන්ගේ වාසස්ථාන නුඹ තුළ පිහිටුවාගනු ඇත. ඔවුන් නුඹේ පලදාව කා, නුඹේ කිරි බොනු ඇත.</verse>
				<verse number="5">රබ්බා ඔටුවන්ට තණ බිමක් ද අම්මොන් වැසියන්ගේ රට බැටළුවන් ලගින තැනක් ද කරන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.</verse>
				<verse number="6">“ ‘මක්නිසා ද, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. නුඹ අත්පොළසන් දී, ප්‍රීතියෙන් නටමින් නුඹේ මුළු උඩඟුකමින් ඉශ්රායෙල් දේශයට විරුද්ධ ව සිතෙන් ප්‍රීති වූ බැවින්,</verse>
				<verse number="7">මාගේ අත නුඹට විරුද්ධ ව දිගු කර, ජාතීන්ට කොල්ලයක් කොට නුඹ පාවා දී, ජනයන් අතරෙන් නුඹ වනසාදමා, දේශවලින් නුඹ නැති කොට විනාශ කරන්නෙමි. මා සමිඳාණන් වහන්සේ බව නුඹ එවිට දැනගන්නෙහි ය.’ “</verse>
				<verse number="8">මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “ජුදා දේශය සෙසු සියලු ජාතීන් හා සමාන යයි මෝවබ් සහ සේයිර් ද කියන නිසා,</verse>
				<verse number="9">මෙන්න, මම මෝවබ් දේශයේ සීමාව ආරක්ෂා කරන සියලු නගරවලට පහර ලැබීමට ඉඩහරින්නෙමි. දේශයේ ඇති අලංකාරවත් නගර වන බෙත්-ජෙෂිමොත් ද බාල්-මොයොන් ද කිරියාතයිම් ද වනසාදමමි.</verse>
				<verse number="10">අම්මොන්වරුන්ගේ රටත් සමඟ නැගෙනහිර දිශාවේ වැසියන්ට මෝවබ් යටත් කරන්න ඉඩහරින්නෙමි. මෙසේ කරන්නේ ජාතීන් අතරෙහි අම්මොන්වරුන් තවත් සිහි නොකරන පිණිස ය.</verse>
				<verse number="11">මම මෝවබ්වරුන් විනිශ්චයයට පමුණුවන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔව්හු දැනගන්නෝ ය.”</verse>
				<verse number="12">මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒදොම් ජුදා සෙනඟගෙන් පළිගන්න ලෙස ක්‍රියා කොට බොහෝ සෙයින් වරදකාරයන් වූ නිසාත්, ඔවුන්ගෙන් පළිගත් නිසාත්</verse>
				<verse number="13">දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මම ඒදොම්ට විරුද්ධ ව මාගේ අත දිගු කොට, ඒ රටේ මනුෂ්‍යයන් ද මෘගයන් ද වනසාදමා, තේමාන් පටන් දෙදාන් දක්වා එය පාළුකරයක් කරන්නෙමි; ඔවුන් කඩුවෙන් මැරුම් කනු ඇත.</verse>
				<verse number="14">මාගේ සෙනඟ වන ඉශ්රායෙල් ලවා ඒදොම් වැසියන්ගෙන් මම පළිගන්නෙමි. ඔවුන් මාගේ උදහසේ ද මාගේ කෝපයේ ද ප්‍රකාරයට ඒදොම්ට කරනු ඇත. ඔවුන් මාගේ පළිගැනීම දැනගනු ඇත. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”</verse>
				<verse number="15">මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “පිලිස්තිවරුන් පළිගැනීමේ චේතනාව පුරාණ සතුරුකම් අනුව විනාශ කිරීමට උඩඟු සිතින් පළිගත් බැවින්</verse>
				<verse number="16">මාගේ අත පිලිස්තිවරුන්ට විරුද්ධ ව දිගු කොට, කෙරෙතිවරුන් වනසාදමා, මුහුදුබඩ ඉතිරි ව සිටින්නන් නැති කරන්නෙමි.</verse>
				<verse number="17">කෝප සහිත තර්ජනවලින් ඔවුන්ගෙන් බොහෝ සෙයින් පළිගන්නෙමි. එසේ ඔවුන්ගෙන් පළිගන්න කල මා සමිඳාණන් වහන්සේ බව ඔව්හු දැනගන්නෝ ය. මෙසේ වදාරන්නේ දෙවි ස්වාමීන් වහන්සේ ය.’ “</verse>
			</chapter>
			<chapter number="26">
				<verse number="1">එකොළොස් වන අවුරුද්දේ මාසේ පළමු වන දවසේ දී සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“මනුෂ්‍ය පුත්‍රය, තීර් ජෙරුසලමට විරුද්ධ ව කතා කොට, ‘ඔහෝ! ජනයන්ගේ දොරටුව වන ඈ කඩාදමනු ලැබුවා ය. එය මා දෙසට ඇරී තිබේ. ඈ පාළු කරනු ලැබ සිටින නිසා මට පූර්ණකම සෑහීමට ඇති වන්නේ ය’යි සරදම් කරමින් කීවා ය.</verse>
				<verse number="3">“එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: එම්බා තීර්! මම නුඹට විරුද්ධ ව සිටිමි. මුහුදේ රැළ නැඟී එන්නාක් මෙන් බොහෝ ජාතීන් නුඹට විරුද්ධ ව පමුණුවන්නෙමි.</verse>
				<verse number="4">ඔව්හු තීර්හි පවුරු විනාශ කොට, එහි කොත් බිඳදමන්නෝ ය. මම එහි ධූලි එතැනින් අතුගාදමා, එය මුඩු පර්වතයක් කරන්නෙමි.</verse>
				<verse number="5">එය මුහුද මැද දැල් අතුරන ස්ථානයක් වන්නේ ය; කුමක් නිසා ද, මම ම ඒක කියමි යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. එය ජාතීන්ට කොල්ලයක් වන්නේ ය.</verse>
				<verse number="6">මුල් බිමේ සිටින ඇගේ දූවරු කඩුවෙන් මැරුම් කන්නෝ ය. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව සියල්ලන් දැනගනු ඇත.”</verse>
				<verse number="7">කුමක් නිසා ද, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. “මෙන්න, මම රාජාතිරාජ වන බබිලෝනියේ රජ වන නෙබුකද්නෙශර් අසුන් සහ රථ ද අසරුවන් සහ සමූහයන් ද බොහෝ සෙනඟ ද ඇති ව උතුරෙන් තීර්ට විරුද්ධ ව පමුණුවන්නෙමි.</verse>
				<verse number="8">මුල් බිමේ සිටින නුඹේ දූවරුන් ඔහු කඩුවෙන් මරා, නුඹට විරුද්ධ ව පවුරු බැඳ නුඹට විරුද්ධ ව පස් කඳු සාදා, නුඹට විරුද්ධ ව පලිස්වලින් සැදුම්ලත් ආවරණ ඉදිකරනු ඇත.</verse>
				<verse number="9">නුඹේ පවුරුවලට විරුද්ධ ව තමාගේ යුද්ධ යන්ත්‍ර තබා, තමාගේ පොරෝවලින් නුඹේ කොත් කඩාදමනු ඇත.</verse>
				<verse number="10">ඔහුගේ අශ්වයන්ගේ වැඩිකම් නිසා උන්ගේ දූවිල්ලට නුඹ වැසී යනු ඇත. කපොල්ලක් හාරා ඇති නුවරකට මිනිසුන් ඇතුළුවන්නාක් මෙන් ඔහු නුඹේ දොරටුවලින් ඇතුළු වන කල, අසරුවන්ගේත්, ගැල්වලත්, රථවලත් ශබ්දයට පවුරු සෙලවෙන්නේ ය.</verse>
				<verse number="11">ඔව්හු තමාගේ අශ්වයන්ගේ කුරවලින් නුඹේ වීදි පාගවා, නුඹේ සෙනඟ කඩුවෙන් මරනු ඇත. නුඹේ විශාල කුළුණු බිමට වැටෙනු ඇත.</verse>
				<verse number="12">ඔවුන් නුඹේ වස්තු කොල්ලකා, නුඹේ වෙළෙඳාම් බඩු උදුරාගනු ඇත. නුඹේ පවුරු බිඳදමා, විශාල මන්දිර හෙළාදමා නුඹේ ගල් ද ලී ද පස් ද මුහුදට දමනු ඇත.</verse>
				<verse number="13">නුඹේ ගීතිකාවල ඝෝෂාව නවත්වන්නෙමි; නුඹේ වීණාවල ශබ්දය ද තවත් නොඇසෙන්නේ ය.</verse>
				<verse number="14">මම නුඹ මුඩු පර්වතයක් කරන්නෙමි. නුඹ වනාහි දැල් ඇතිරීම පිණිස ස්ථානයක් වන්නෙහි ය; නුඹ යළිත් ගොඩනඟනු නොලබන්නෙහි ය. මක්නිසා ද, සමිඳාණන් වහන්සේ වන මම එය පැවසුවෙමි.” මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.</verse>
				<verse number="15">මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ තීර්ට මෙසේ වදාරන සේක. “නුඹේ වැටීමේ ශබ්දයටත්, නුඹ තුළෙහි තුවාළවූවන්ගේ කෙඳිරිගෑමටත්, මිනිසුන් මරාදමනු ලබන අන්දමටත් මුහුදුබඩ වාසීහු භීතියෙන් කම්පා නොවන්නෝ ද?</verse>
				<verse number="16">එකල මුහුදේ සියලු ම අධිපතීහු ද තමන්ගේ සිංහාසනවලින් බැස, තමන්ගේ සළු ඉවත තබා, තමන්ගේ විසිතුරු වස්ත්‍ර ගලවා දමා, භීතියෙන් ඇලළී ගොස් හිඳගෙන මොහොතින් මොහොත වෙවුළමින්, නුඹේ ඉරණම ගැන බියට පත්වන්නෝ ය.</verse>
				<verse number="17">ඔවුන් නුඹ ගැන විලාපයක් කියමින්, මෙසේ කියනු ඇත. අහෝ, ‘කීර්තිමත් නුවර මුහුදෙන් අතුරුදහන් වී ඇත. එහි නාවික බලය මුහුදෙන් පහ වී ඇත. නුඹ සහ නුඹේ සෙනඟ මුහුදු පාලනය කළහු ය; වෙරළෙහි විසූ අය බිය ගැන්වූවහු ය.</verse>
				<verse number="18">දැන් ද්වීප වැසියෝ නුඹේ වැටීමේ දවසේ දී වේවුළති; එසේ ය, මුහුදේ සිටින ද්වීප වැසියෝ නුඹේ විනාශය ගැන තැතිගන්නෝ ය’යි නුඹ ගැන කියනු ඇත.”</verse>
				<verse number="19">මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. “වැසියන් නැති නගර මෙන් මා නුඹ පාළු නුවරක් කර, මහ ජලස්කන්ධයකින් නුඹ වැසී යන ලෙස සයුර නුඹ පිට පමුණුවන්නෙමි.</verse>
				<verse number="20">පාතාල ලෝකයට බැස ගිය, පෙර විසූ සෙනඟ ළඟට ගලා බසින්නට මම නුඹට සලස්වන්නෙමි. නුඹ තුළ වැසියන් නොසිටින පිණිස ද ජීවත් ව සිටින්නන්ගේ දේශයෙහි තැනක් නො ලබන පිණිස ද පාතාල ලෝකයට බසින අය සමඟ පොළොවේ පාතාලයෙහි එනම්, පෙර සිට පාළු වූ තැන්හි නුඹ වාසය කරවන්නෙමි.</verse>
				<verse number="21">මම නුඹ භයානක අවසානයට පත් කරන්නෙමි. නුඹ තවත් ජීවත් ව නොසිටින්නෙහි ය. නුඹව සොයා ආවත් කිසි කලක නුඹ සම්බ වෙන්නේ නැත.” මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.</verse>
			</chapter>
			<chapter number="27">
				<verse number="1">සමිඳාණන් වහන්සේ කතා කොට මට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“මනුෂ්‍ය පුත්‍රය, නුඹ තීර් ගැන විලාප ගීයක් නඟමින්,</verse>
				<verse number="3">තීර් නගරයට මෙසේ කියන්න: ‘මුහුදට ඇතුළු වන තැන්හි වාසය කරන, බොහෝ ද්වීපවල ජනයන්ගේ වෙළෙන්දියක මෙන් වන තැනැත්ති ය, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. එම්බා තීර්! මම අකලංක අලංකාරයෙන් සිටිමි යි නුඹ කීයෙහි ය.</verse>
				<verse number="4">නුඹේ දේශ සීමා මුහුද මැද ඇත්තේ ය. නුඹව ගොඩනැඟුව අය නුඹේ අලංකාරකම සම්පූර්ණ කර තිබේ.</verse>
				<verse number="5">ඔව්හු නුඹේ නැවේ ලෑලි සියල්ල සෙනීර්හි දේවදාර ලීවලින් සෑදූ හ. නුඹට කුඹ ගසක් සාදන්න ඔව්හු ලෙබනොන්හි කිහිරි ගස් ගත්හ,</verse>
				<verse number="6">බාෂාන්හි ආලෝන ලීවලින් නුඹේ හබල් සෑදූ හ. නුඹේ නැවේ තට්ටුව කිත්තිවරුන්ගේ ද්වීපවලින් ගෙනා තසූර් ලීවලින් සාදා ඇත් දත් ගිල්වූ හ.</verse>
				<verse number="7">නුඹේ රුවල් කොඩිය මිසරයේ සිහින් විසිතුරු රෙදිවලින් සෑදී තිබේ. නුඹේ වියන එලිෂා නම් ද්වීපවලින් ගෙනා නිල් සහ රත්නිල් රෙදි ය.</verse>
				<verse number="8">සීදොන්හි සහ අර්වද්හි වැසියෝ නුඹේ හබල්කාරයන් ව සිටියෝ ය. එම්බා තීර්! නුඹ තුළ සිටි නුඹේ ප්‍රඥාවන්තයෝ නුඹේ නාවිකයෝ වූ හ.</verse>
				<verse number="9">ගෙබල්හි ප්‍රජා මූලිකයෝ ද එහි ශිල්පීහු ද නුඹ තුළ නුඹේ කැඩුම්බිඳුම් හරිගස්සන්නෝ වූ හ. නුඹ සමඟ වෙළෙඳාමේ යෙදී සිටීමට මුහුදේ සියලු නැව් ද ඒවා යාත්‍රා කරන්නෝ ද නුඹ තුළ සිටියෝ ය.</verse>
				<verse number="10">පාර්සිවරු ද ලුද්වරු ද පූට්වරු ද යුද සෙබළුන් මෙන් නුඹේ සේනාවෙහි සිටියෝ ය. ඔව්හු නුඹේ යුද්ධකාරයෝ ය. ඔව්හු පලිස් ද යුද්ධ තොප්පි ද නුඹ තුළ එල්ලා, නුඹේ ශෝභනකම දැක්වූ හ.</verse>
				<verse number="11">අර්වද්හි පුත්‍රයෝ ද නුඹේ සේනාව ද නුඹේ පවුරු පිට වටේට සිටියෝ ය. ගම්මද්හි මනුෂ්‍යයෝ නුඹේ කොත්වල සිටියෝ ය. ඔව්හු තමන්ගේ පලිස් නුඹේ පවුරුවල වටේට එල්ලා තැබුවෝ ය; ඔව්හු නුඹේ ශෝභාව පරිපූර්ණ කළෝ ය.</verse>
				<verse number="12">සියලු සම්පත්වල අධිකකම නිසා තර්ෂිෂ් නුඹ සමඟ වෙළෙඳාම් කළහ. ඔව්හු රිදී ද යකඩ ද ඊයම් ද බෙලෙක් ද ගනුදෙනු කළහ.</verse>
				<verse number="13">ජාවාන් ද තුබල් ද මෙෂෙක් ද නුඹේ වෙළෙඳුන් ව සිට නුඹ සමඟ වහලුන් ද ලෝකඩ භාණ්ඩ ද වෙළෙඳ බඩු මෙන් හුවමාරු කරගත්හ.</verse>
				<verse number="14">බෙත්-තොගර්මා වංශයේ වෙළෙන්දෝ නුඹ සමඟ අශ්වයන් ද සෛන්ධවයන් ද කොටළුවන් ද නුඹේ වෙළෙඳ බඩු සමඟ හුවමාරු කරගත්හ.</verse>
				<verse number="15">දෙදාන්හි මනුෂ්‍යයෝ නුඹේ වෙළෙන්දන් ව සිටියෝ ය. බොහෝ මුහුදුබඩ වැසියෝ නුඹ යටතේ වෙළෙඳාම් කළෝ ය. ඔව්හු ඇත් දළ සහ කළුවර ලී බඩු හුවමාරුවට නුඹ කරා ගෙනාවෝ ය.</verse>
				<verse number="16">නුඹේ බොහෝ වෙළෙඳ බඩු නිසා සිරිය නුඹේ වෙළෙන්දෝ වූ හ. ලෝහිතංකවලින් ද රත්නිල් රෙදිවලින් ද ඔව්හු වැඩදැමූ රෙදිවලින් ද සිහින් රෙදිවලින් ද පබළුවලින් ද රතුකැටවලින් ද නුඹ සමඟ ගනුදෙනු කළෝ ය.</verse>
				<verse number="17">ජුදාවරු ද ඉශ්රායෙල් දේශයේ මනුෂ්‍යයෝ ද නුඹේ වෙළෙන්දන් ව සිට නුඹ සමඟ මින්නිත් ප්‍රදේශයේ තිරිඟු ද ඉටි ද මී පැණි ද ගුගුල් ද යන මේවායින් ගනුදෙනු කළෝ ය.</verse>
				<verse number="18">නුඹේ බොහෝ වෙළෙඳාම් නිසාත්, නුඹේ සියලු සම්පත්වල අධිකකම නිසාත් දමස්කය නුඹ සමඟ හෙල්බොන්හි මුද්‍රික පානය ද සහර්හි සුදු ලොම් ද වෙළෙඳාම් කළෝ ය.</verse>
				<verse number="19">වෙදාන් ද ජාවාන් ද නුඹ සමඟ නූල් ගනුදෙනු කළෝ ය. තැළූ යකඩ සහ ගන්ධරස ද දඬු ද නුඹේ වෙළෙඳ බඩු අතරේ හුවමාරු විය.</verse>
				<verse number="20">දෙදාන් නුඹ සමඟ වටිනා සෑදල පිළී හුවමාරු කළහ.</verse>
				<verse number="21">අරාබිය සහ කේදාර්හි සියලු අධිපතීහු නුඹේ හොඳ ම වෙළෙන්දන් මෙන් සිට නුඹ සමඟ බැටළු පැටවුන් ද බැටළුවන් ද එළුවන් ද වෙළෙඳාම් කළෝ ය.</verse>
				<verse number="22">ෂෙබා සහ රාමාහි වෙළෙන්දෝ නුඹේ වෙළෙන්දන් ව සිට නුඹ සමඟ සියලු ආකාර වටිනා සුවඳ ද්‍රව්‍ය ද සියලු ආකාර මැණික් ගල් ද රන් ද ගනුදෙනු කළෝ ය.</verse>
				<verse number="23">හාරාන්හි ද කන්නෙහි ද එදෙන්හි ද වැසියන් වන ෂෙබාහිත්, අෂූර්හිත්, කිල්මද්හිත් වෙළෙන්දෝ නුඹ සමඟ ගනුදෙනු කළෝ ය.</verse>
				<verse number="24">ඔව්හු නුඹ සමඟ ඉතා අලංකාර වස්ත්‍ර ද නිල් සහ විසිතුරු සළු ද නොයෙක් පාට ඇති බුමුතුරුණු ද ලණුවලින් වෙළූ කිහිරි ලී පෙට්ටි ද නුඹේ වෙළෙඳාම් පොළෙහි වෙළෙඳාම් කළෝ ය.</verse>
				<verse number="25">නුඹේ වෙළෙඳ බඩු ගෙන ගියේ තර්ෂිෂ්හි නැව්වලින් ය. මුහුද මැද නුඹ බඩුබාහිරාදියෙන් පිරී සිටියෙහි ය.</verse>
				<verse number="26">“ ‘නුඹේ හබල්කාරයෝ මුහුදේ ගැඹුරට නුඹ පැමිණෙවුවෝ ය. නුඹ මුහුද මැද දී පෙරදිග සුළඟට අසු වීමෙන් නුඹේ නැව් මුහුදුබත් වුණා ය.</verse>
				<verse number="27">නුඹේ සම්පත් ද නුඹේ බඩු ද නුඹේ වෙළෙඳාම් ද නුඹේ යාන්ත්‍රිකයන් ද නුඹේ නාවිකයන් ද නුඹේ කැඩුම්බිඳුම් හරිගස්සන්නන් ද නුඹේ වෙළෙඳාමේ යෙදී සිටින්නන් ද නුඹ තුළ සිටින නුඹේ සියලු යුද්ධකාරයන් ද නුඹ සමඟ සිටින නුඹේ මුළු සමූහයා සමඟ නුඹ නුඹේ වැටීමේ දවසේ දී මුහුද මැද ගිලෙන්නෙහි ය.</verse>
				<verse number="28">නුඹේ නාවිකයන්ගේ කෑගැසීමේ ශබ්දයට අසබඩ පළාත් සෙලවෙන්නේ ය.</verse>
				<verse number="29">හබල් අල්ලන සියල්ලෝ ද යාන්ත්‍රිකයෝ ද මුහුදේ සියලු ම නාවිකයෝ ද තමන්ගේ නැව්වලින් බැස ගොඩ සිටගෙන,</verse>
				<verse number="30">නුඹ ගැන හඬා වැලපී, ශෝකයෙන් මොරගසා, තමන්ගේ හිස් පිට ධූලි තවරාගෙන අළුවල පෙරළී සිටින්නෝ ය.</verse>
				<verse number="31">ඔව්හු නුඹ නිසා හිස් මුඩු කරගෙන, ගෝණි රෙදි ඇඳගෙන සිතේ ශෝකයෙන් මහා විලාප කියමින් නුඹ ගැන අඬන්නෝ ය.</verse>
				<verse number="32">ඔවුන්ගේ ලතෝනියේ දී ඔවුන් නුඹ ගැන මෙසේ විලාප ගීයක් නඟා නුඹ ගැන මෙසේ විලාප කියනු ඇත: ‘මුහුද මැද තීර් මෙන් විපතට පත් වූ තවත් කවරෙක් ඇද් ද?</verse>
				<verse number="33">නුඹේ බඩු මුහුද මඟින් ගෙනයනු ලැබූ කල නුඹ බොහෝ ජනයන් තෘප්තියට පැමිණෙවුවෙහි ය; නුඹේ බහුල සම්පතින් ද සාර්ථක වෙළෙඳාමෙන් ද නුඹ පොළොවේ රජුන් පොහොසත් කෙළෙහි ය.</verse>
				<verse number="34">දැන් නුඹ මුහුදින් වට වී රැළ පහරින් බිඳී ගොස් ඇත. නුඹේ වෙළෙඳාම් බඩු ද නුඹ සමඟ සිටි නුඹේ මුළු සමූහය ද වැටී ඇත.</verse>
				<verse number="35">ද්වීපවල සියලු ම වැසියෝ නුඹේ ඉරණම ගැන විස්ම පත් වෙති; ඔවුන්ගේ රජවරු ද අතිශයින් බිය ව කැළඹුණ මුහුණු ඇති ව සිටිති.</verse>
				<verse number="36">ජනයන් අතරේ සිටින වෙළෙන්දෝ නුඹට වටකම් කරති; නුඹ භයානක අවසානයකට පත් වී ඇත. නුඹ සදහට ම විනාශ වී ඇත.’ “</verse>
			</chapter>
			<chapter number="28">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“මනුෂ්‍ය පුත්‍රය, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි තීර්ගේ අධිපතියාට කියන්න. නුඹ දෙවි කෙනෙකු නොව, මනුෂ්‍යයෙකු වන නමුත්, නුඹේ සිත උඩඟු වී, මම දෙවි කෙනෙක්මි. මුහුද මැද මම දෙවි කෙනෙකුගේ ආසනයේ වැඩහිඳිමි යි කියමින්, නුඹ දෙවිඳුන්ට සමාන ය යි සිතන්නෙහි ය.</verse>
				<verse number="3">නුඹ දානියෙල්ට වඩා ප්‍රඥාවන්ත ය යි ද නුඹෙන් කිසි රහසක් සඟවන්නට බැරි ය යි ද නුඹ සිතන්නෙහි ය.</verse>
				<verse number="4">නුඹේ ප්‍රඥාවෙන් ද නුඹේ නුවණින් ද නුඹ සම්පත් උපදවාගෙන, රන් රිදී ද ලබා නුඹේ ගබඩාවල තබා ගත්තෙහි ය.</verse>
				<verse number="5">නුඹේ ප්‍රඥාවේ මහත්කමින් නුඹේ වෙළෙඳාම කරණකොටගෙන නුඹේ සම්පත් නුඹ වැඩි කරගෙන සිටින බැවින්, නුඹේ සම්පත් නිසා නුඹේ සිත උඩඟු වී තිබේ.</verse>
				<verse number="6">“එබැවින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹ දෙවි කෙනෙකු මෙන් ඥානවන්ත යයි සිතන බැවින්,</verse>
				<verse number="7">බලන්න, මම ජාතීන් අතරෙන් ඉතා භයානක විදේශිකයන් නුඹට විරුද්ධ ව පමුණුවන්නෙමි. ඔව්හු නුඹේ අපූරු ප්‍රඥාවට විරුද්ධ ව තමන්ගේ කඩු ඇද නුඹේ දීප්තිය කිළුටු කරනු ඇත.</verse>
				<verse number="8">ඔවුන් නුඹ මිනීවළට පමුණුවනු ඇත. මැරුම්කන අය මරනු ලබන ලෙස නුඹ මුහුද මැද දී මැරෙනු ඇත.</verse>
				<verse number="9">නුඹ දෙවි කෙනෙකු නොව, නුඹ සතුරන් අතට අසු වී හුදෙක් මිනිසෙකු ව සිටින නමුත්, නුඹව මරාදමන්නන් ඉදිරියෙහි, ‘මම දෙවි කෙනෙක්මි’යි එවිටත් නුඹ කියා සිටින්නෙහි ද?</verse>
				<verse number="10">අචර්මඡේදිතයන් මෙන් නුඹ විදේශිකයන් අතින් මැරුම්කන්නෙහි ය. මන්ද, මම එසේ කීයෙමි. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”</verse>
				<verse number="11">තවද, සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාරන සේක:</verse>
				<verse number="12">“මනුෂ්‍ය පුත්‍රය, තීර්හි රජු ගැන විලාප ගීයක් ගයමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න. නුඹ වරක් ප්‍රඥාවෙන් පිරී, අලංකාරකමෙන් පූර්ණ වී පරිපූර්ණතාවේ ආදර්ශයක් වූයෙහි ය.</verse>
				<verse number="13">නුඹ දෙවියන් වහන්සේගේ උයන වන ඒදන්හි සිටියෙහි ය; සියලු මැණික් ගල් වන ලෝහිතංක ද පුෂ්පරාග ද දියමන්ති ද රන්කාන්ති ද නඛමාණික්‍ය ද සූර්යකාන්ති ද නීලමාණික්‍ය ද රතුකැට ද මරකත ද ඔබ්බන ලද රනින් සෑදූ පළඳනාවෙන් සැරසී සිටියෙහි ය. නුඹ මවනු ලැබූ දවසේ දී ඒවා නුඹට සූදානම් කරන ලද්දේ ය.</verse>
				<verse number="14">නුඹ ආරක්ෂා කරන පිණිස බියකරු කෙරුබ්වරයෙකු මම එහි තැබීමි. නුඹ දෙවියන් වහන්සේගේ ශුද්ධ කන්දෙහි සිටියෙහි ය. නුඹ ගිනි අඟුරු අතරෙහි ඇවිද්දෙහි ය.</verse>
				<verse number="15">නුඹ මවනු ලැබූ දා පටන් නුඹ තුළ අධර්මිෂ්ඨකම හෙළි වනතුරු නුඹේ හැසිරීමෙන් නුඹ නිදොස් ව සිටියෙහි ය.</verse>
				<verse number="16">නුඹේ වෙළෙඳාම වැඩි වීම හේතුකොටගෙන අදමිටුකමින් නුඹේ සිත පිරී නුඹ පව් කෙළෙහි ය. එබැවින් නුඹ කෙලෙසූ දෙයක් මෙන් දෙවියන් වහන්සේගේ කන්දෙන් මම නුඹ නෙරපාදැමුවෙමි; නුඹ ආරක්ෂක කෙරුබ්වරයා ද ගිනි අඟුරු අතරෙන් පන්නාදැමුවෙහි ය.</verse>
				<verse number="17">නුඹේ රුව නිසා නුඹේ සිත උඩඟු ව තිබේ. නුඹේ කීර්තිය නිසා නුඹේ ප්‍රඥාව කෙලෙසා ගත්තෙහි ය. මම නුඹ පොළොවට හෙළා, රජවරුන් නුඹ දැක ප්‍රීති වන පිණිස නුඹ ඔවුන් ඉදිරියෙහි හෙළි කෙළෙමි.</verse>
				<verse number="18">නුඹේ වෙළෙඳාමේ අසාධාරණකමෙන් කළ නුඹේ අපරාධ රාශියෙන් නුඹ නුඹේ ශුද්ධස්ථාන කෙලෙසුවෙහි ය; එහෙයින් මම නුඹ ඇතුළෙන් ගින්නක් නික්මවීමි; එය නුඹ නාස්ති කෙළේ ය; නුඹ දකින සියල්ලන්ගේ ඇස් ඉදිරියෙහි පොළොව පිට නුඹ අළු කෙළෙමි.</verse>
				<verse number="19">ජනයා ද නුඹ අඳුනන සියල්ලෝ ද නුඹ ගැන විස්මපත් වන්නෝ ය. නුඹ භයානක අවසානයකට පත් වී ඇත. නුඹ සදහට ම විනාශ වී ඇත.”</verse>
				<verse number="20">සමිඳාණන් වහන්සේ කතා කොට මට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="21">“මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ සීදොන් දෙසට හරවා, ඊට විරුද්ධ ව දිවැස් වැකි පවසමින් මෙසේ කියන්න:</verse>
				<verse number="22">දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. එම්බා සීදොන්, මම නුඹට විරුද්ධ වෙමි; නුඹ මැද මාගේ තේජස ප්‍රකාශ කරමි. මා ඈ කෙරෙහි විනිශ්චයයන් ඉෂ්ට කොට, මා පිරිසිදු බව ඒ කරණකොටගෙන දැක්වූ කල, මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.</verse>
				<verse number="23">එසේ ය, මම ඈ තුළ වසංගතයත්, ඇගේ වීදිවල ලේ වැගිරීමත් ඇති කරන්නෙමි. හාත්පසින් ඈ පිට පැමිණෙන කඩුවෙන් ඈ තුළ මනුෂ්‍යයෝ මැරුම් කා වැටෙන්නෝ ය. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”</verse>
				<verse number="24">“එවිට ඉශ්රායෙල් සෙනඟට ඇනෙන කඩුවක් වත්, රිද්දවන උලක් වත් ඔවුන් අපවාදයට පත් කළ ඔවුන් අවට සිටින සියල්ලන්ගෙන් තවත් නොපැමිණෙන්නේ ය; මෙසේ මා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”</verse>
				<verse number="25">දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. “මා විජාතීන් අතර විසිරී සිටින ඉශ්රායෙල් සෙනඟ රැස් කර, මා ශුද්ධවන්ත බව ඔවුන් මඟින් ජාතීන්ගේ ඇස් හමුයෙහි පෙන්නූ කල්හි, මාගේ මෙහෙකරු ජාකොබ්ට මා දුන් දේශයෙහි ඔවුන් වාසය කරනු ඇත.</verse>
				<verse number="26">ඔව්හු එහි සුව සේ වාසය කොට, ගෙවල් ගොඩනඟා මිදි වතු වවන්නෝ ය; ඔවුන් අවට සිටින, ඔවුන් අපවාදයට පත් කළ, සියල්ලන් කෙරෙහි මා විනිශ්චයයන් ඉෂ්ට කළ කල්හි ඔවුන් එසේ සුව සේ වාසය කරනු ඇත. මෙසේ මා ඔවුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ බව ඔව්හු දැනගන්නෝ ය.”</verse>
			</chapter>
			<chapter number="29">
				<verse number="1">දස වන අවුරුද්දේ දස වන මාසයේ දොළොස් වන දින සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජු වන පාරාවෝ දෙස බලා ඔහුටත් මුළු මිසරයටත් විරුද්ධ ව දිවැස් වැකි කියන්න.</verse>
				<verse number="3">නුඹ කතා කොට මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නයිල් ගඟ මැද ලගින, නයිල් ගඟ මාගේ ම ය කියාත්, මම ම ඒක සාදාගත්තෙමි කියාත් කියන මහ කිඹුලා වන මිසරයේ පාරාවෝ රජුනි, මෙන්න, මම නුඹට විරුද්ධ වෙමි.</verse>
				<verse number="4">මම නුඹේ හකුවල කොකු දමා, නුඹේ ගංගාවේ මත්ස්‍යයන් නුඹේ කොරපොතුවල වද්දවා, එසේ නුඹේ කොරපොතුවල ම වැදී සිටිය දී නුඹේ ගංගාවේ සියලු මත්ස්‍යයන් ඇතුළු ව නුඹ නයිල් ගඟෙන් ගොඩට අදින්නෙමි.</verse>
				<verse number="5">මම නුඹ සහ නුඹේ ගංගාවේ සියලු මත්ස්‍යයන් ද කාන්තාරයෙහි හෙළාදමන්නෙමි. නුඹ වළලනු නොලැබ පොළොව මතුපිට සිටින්නෙහි ය. මම නුඹ පොළොවේ මෘගයන්ට ද ආකාශ පක්ෂීන්ට ද කෑම පිණිස දෙන්නෙමි.</verse>
				<verse number="6">එවිට මිසරයේ සියලු වැසියෝ මා සමිඳාණන් වහන්සේ බව දැනගන්නෝ ය.</verse>
				<verse number="7">“ඉශ්රායෙල්වරු මිසර වැසියන්ගේ ආධාරය කෙරෙහි විශ්වාසය තබා සිටියහ. එහෙත්, නුඹ ඉශ්රායෙල් සෙනඟට බට දණ්ඩක් වැනි විය. ඔවුන් හේත්තු වූ විට නුඹ කැඩී ගියෙහි ය. ඔවුන්ගේ කිහිලි සිදුරු විය; ඔවුන්ගේ කොන්ද පණ නැති විය.</verse>
				<verse number="8">එබැවින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න, මම නුඹට විරුද්ධ ව කඩුවක් පමුණුවා, නුඹෙන් මනුෂ්‍යයන් ද මෘගයන් ද වනසා දමන්නෙමි.</verse>
				<verse number="9">මිසර දේශය නාස්ති වී, පාළු වනු ඇත. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔව්හු දැනගන්නෝ ය. මක්නිසා ද, නයිල් ගඟ මාගේ ය; මම එය සදාගතිමි යි නුඹ කී බැවිනි.</verse>
				<verse number="10">බලන්න, මම නුඹටත්, නුඹේ නයිල් ගඟටත් විරුද්ධ වෙමි. මම මිග්දොල් පටන් සෙව්නේ කොටුව දක්වාත්, එතියෝපියාවේ දේශ සීමාව දක්වාත්, මිසර දේශය මුළුමනින් ම පාළු කරන්නෙමි.</verse>
				<verse number="11">මිනිසෙකු වත්, මෘගයෙකු වත් එහි සැරිසරන්නේ නැත. එය සතළිස් අවුරුද්දක් වැසියන් නැති ව තිබෙන්නේ ය.</verse>
				<verse number="12">පාළු වී තිබෙන රටවලට වඩා මම මිසර දේශය පාළු කරන්නෙමි. එහි නගර නටබුන් ගොඩක් මෙන් තිබෙන නගරවලට වඩා සතළිස් අවුරුද්දක් එය පාළු දේශයක් ව තිබෙනු ඇත. මම මිසරවරුන් ජාතීන් අතරට පලවා හැර දේශවල ඔවුන් විසුරුවන්නෙමි.</verse>
				<verse number="13">“එහෙත් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. සතළිස් අවුරුද්දකට පසු, විජාතීන් අතර විසිර ගිය මිසරවරුන් අතරෙන් මම ඔවුන් රැස් කරන්නෙමි.</verse>
				<verse number="14">මම මිසරවරුන්ගේ වහල්කම පහකර ඔවුන්ගේ ජන්ම දේශය වන පත්‍රොස් දේශයට ඔවුන් නැවත පමුණුවන්නෙමි. ඔවුන් එහි දුර්වල රාජ්‍යයක් ව සිටිනු ඇත.</verse>
				<verse number="15">මිසරය සියලු රාජ්‍යයන් අතර පහත් රාජ්‍යයක් වන්නේ ය. එය සෙසු ජාතීන්ට වඩා ඉස්මතු නොවන්නේ ය; ඔව්හු තවත් පාලනය නොකරන්නෝ ය. එය සෙසු ජාතීන් තවත් පාලනය නොකරන පිණිස මම මිසරය කුඩා රාජ්‍යයක් කරන්නෙමි.</verse>
				<verse number="16">ඉශ්රායෙල්වරු ආධාර පිණිස මිසරය කෙරෙහි තවත් විශ්වාසය නොතබන්නෝ ය. මිසරයට වන දුර්භාග්‍යය, එය කෙරේ විශ්වාසය තැබීමේ වරද ඉශ්රායෙල්වරුන්ට මතක් කර දෙනු ඇත. එවිට මා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව ඔව්හු දැනගන්නෝ ය.”</verse>
				<verse number="17">තවද, විසිහත් වන අවුරුද්දේ පළමු වන මාසයේ පළමු වන දා සමිඳාණන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="18">“මනුෂ්‍ය පුත්‍රය, බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් තීර්ට විරුද්ධ ව දරුණු සටනක් ඇරඹුවේ ය. ඔහුගේ හේවායන් පිට මහා බර උසුලාගෙන යන්න ඔහු සැලැසූ නිසා ඔවුන්ගේ හිස් මුඩු විය. උරහිස්වල හම ගියේ ය. එහෙත්, ඔහු තීර්ට විරුද්ධ ව කළ සටනින් ඔහුට වත්, ඔහුගේ සේනාවට වත් තීර්ගෙන් කිසි වාසියක් ලැබුණේ නැත.</verse>
				<verse number="19">එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: බලන්න, මම බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර්ට මිසර දේශය පාවා දෙන්නෙමි; ඔහු එහි සමූහයා අල්ලාගෙන, එහි තිබෙන කොල්ලය රැගෙන, එහි තිබෙන සම්පත් කොල්ලකාගෙන යනු ඇත. ඒවා ඔහුගේ සේනාවට කුලී වශයෙන් ගෙවනු ඇත.</verse>
				<verse number="20">තීර්ට විරුද්ධ ව ඔහු කළ උත්සාහයට විපාකයක් වශයෙන් මම මිසර දේශය ඔහුට පාවා දෙන්නෙමි. එසේ කරන්නේ, ඔහු මා උදෙසා ක්‍රියා කළ බැවිනි. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.</verse>
				<verse number="21">“ඒ දවසේ දී මම ඉශ්රායෙල් සෙනඟ අඟක් මෙන් ශක්තිමත් කරන්නෙමි. තවද එසකියෙල්, සියල්ලන්ට ඇසෙන සේ කතා කරන්න මම නුඹට ඉඩ සලසාදෙන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔව්හු දැනගන්නෝ ය.”</verse>
			</chapter>
			<chapter number="30">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියමින් මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. වැලපෙන්න, අහෝ කාලයක හැටි!</verse>
				<verse number="3">මක්නිසා ද, දවස ළඟ ය, සමිඳාණන් වහන්සේගේ දවස ළඟ ය, එය වලාකුළු සහිත දවසක් වන්නේ ය; ජාතීන්ගේ විනාශයේ දවසක් වන්නේ ය.</verse>
				<verse number="4">යුද්ධයක් මිසරයට පැමිණෙන්නේ ය. මිසරයෙහි මිනිසුන් ම මැරුම් කා වැටෙන විට ද එහි සමූහයා අල්ලාගන්න විට ද එහි අත්තිවාරම් පෙරළාදමන විට ද එතියෝපියාවේ භීතියක් හටගන්නේ ය.”</verse>
				<verse number="5">“එතියෝපිවරු ද පූට්වරු ද ලූද්වරු ද සියලු අරාබිවරු ද කුබ්වරු ද ගිවිසුමට බැඳුණු දේශයේ වාසීහු ද ඔවුන් සමඟ කඩු පහරින් වැටෙන්නෝ ය.”</verse>
				<verse number="6">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මිසරයට ආධාර කරන අය වැටෙන්නෝ ය. ඇගේ බලයේ උඩඟුකම බිඳ වැටෙන්නේ ය. උතුරේ මිග්දොල් පටන් දකුණේ සෙව්නේ දක්වා මනුෂ්‍යයෝ කඩු පහරින් නසින්නෝ ය. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.</verse>
				<verse number="7">ඔවුන්ගේ දේශ පාළු ව තිබෙන දේශ අතරෙත් ඔව්හු ඉතාමත් පාළු වෙති. ඔවුන්ගේ නගර නටබුන් වී තිබෙන නගර අතරෙහි වන්නේ ය.</verse>
				<verse number="8">මා මිසරයෙහි ගින්නක් දල්වා ඇගේ සියලු ආධාරකරුවන් විනාශ වී ගිය කල, මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.</verse>
				<verse number="9">“ඒ දවසේ දී සැකයෙන් තොර ව දිවි ගෙවන එතියෝපියන්වරුන් බිය ගන්වන පිණිස මා ඉදිරියෙන් පණිවුඩකාරයන් නැව්වලින් පිටත් කර යවන්නෙමි. එවිට මිසරයේ විනාශයේ දවසේ දී භීතිය ඔවුන් පිට පැමිණෙනු ඇත; එය පැමිණෙන්නේ ම ය.”</verse>
				<verse number="10">මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් අතින් මිසරයේ ජනයා නැති කරවන්නෙමි.</verse>
				<verse number="11">ජාතීන්ගෙන් ඉතා භයානක අය වන ඔහුත්, ඔහු සමඟ ඔහුගේ සෙනඟත් දේශය නාස්ති කරන පිණිස ගෙන්වනු ලබන්නෝ ය. ඔව්හු මිසරයට විරුද්ධ ව තමන්ගේ කඩු ඇද මැරුම් කන අයගේ මළකඳන්වලින් දේශය පුරවන්නෝ ය.</verse>
				<verse number="12">මම නයිල් ගඟ වියළවා දේශය දුෂ්ටයන්ගේ අතට විකුණා දේශය ද එහි ඇති සියල්ල ද විදේශිකයන් ලවා පාළු කරවන්නෙමි. ස්වාමීන් වන මම මෙසේ වදාරන්නෙමි.”</verse>
				<verse number="13">මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම දේව රූප නැති කොට, මෙම්පීස් දේශයේ පිළිම පහකරන්නෙමි. අධිපතියෙකු මිසර දේශයෙන් තවත් නොවනු ඇත. තවද, මම මිසර දේශයෙහි භීතිය හටගන්වන්නෙමි.</verse>
				<verse number="14">මම පෙත්‍රාස් පාළු කොට ශොවන්හි ගින්නක් අවුළුවා, තීබ්ස් නගරයට දඬුවම් කරන්නෙමි.</verse>
				<verse number="15">මම මිසරයේ සවිමත් බලකොටුව වන ශීන් පිට මාගේ කෝපය වගුරුවා තීබ්ස් නගරයෙහි සමූහයා කඩුවෙන් වනසාදමන්නෙමි.</verse>
				<verse number="16">ගින්නක් ද මිසරයෙහි දල්වන්නෙමි. ශීන් මහ වේදනා විඳින්නටත්, පවුරු හෙළාදමා තීබ්ස් බිඳදමනු ලබන්නටත්, ජලගැල්මෙන් විනාශ වී යන්නටත් සලස්වන්නෙමි.</verse>
				<verse number="17">ආවෙන්හි ද පී-බෙසෙත්හි ද යෞවනයෝ කඩුවෙන් නසින්නෝ ය; එහි වැසියෝ වහල්කමට ගෙනයනු ලබන්නෝ ය.</verse>
				<verse number="18">මා මිසරයේ වියගස් තෙහප්නෙහේස්හි දී බිඳින කල ද ඇගේ බලයේ උඩඟුකම ඇගෙන් පහවන කල ද එහි දවාල අඳුරු වන්නේ ය. ඈ වලාපටලයකින් වැසෙන්නී ය. ඇගේ දූවරු වහල්කමට ගෙනයනු ලබන්නෝ ය.</verse>
				<verse number="19">මෙසේ මම මිසරයට දඬුවම් පමුණුවන්නෙමි. එවිට මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”</verse>
				<verse number="20">තවද, එකොළොස් වන අවුරුද්දේ පළමු වන මාසයේ සත් වන දා සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="21">“මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජු වන පාරාවෝගේ හස්තය මම බිඳදැමුවෙමි. කඩුව අල්ලන්න එය ශක්තිමත් වන සේ කිසිවෙකු එය පටිවලින් බැඳ එයට පිළියම් කර නැත.</verse>
				<verse number="22">එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘බලන්න, මම මිසරයේ රජු වන පාරාවෝට විරුද්ධ ව සිටිමි. මම ඔහුගේ කැඩුණු අතත්, නොකැඩුණු අතත් දෙක ම කඩන්නෙමි. එවිට ඔහුගේ අතින් කඩුව වැටෙන්නේ ය.</verse>
				<verse number="23">මිසරවරුන් ජාතීන් අතරට එළවා ඔවුන් දේශවල විසුරුවන්නෙමි.</verse>
				<verse number="24">මම බබිලෝනියේ රජුගේ බාහුව බලවත් කොට මාගේ කඩුව ඔහු අතට දෙන්නෙමි. පාරාවෝගේ බාහුව කඩන්නෙමි, ඔහු මරණීය තුවාළ ලත් කෙනෙකුගේ කෙඳිරිගෑම්වලින් ඒ අය ඉදිරියෙහි කෙඳිරිගානු ඇත.</verse>
				<verse number="25">මම බබිලෝනියේ රජුගේ බාහු ශක්තිමත් කරන්නෙමි. එහෙත්, පාරාවෝගේ බාහු දුර්වල කරන්නෙමි. මෙසේ මා බබිලෝනියේ රජුගේ අතට මාගේ කඩුව දී, ඔහු එය මිසර දේශයට විරුද්ධ ව දිගු කරන කල්හි, මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.</verse>
				<verse number="26">මම මිසරවරුන් ජාතීන් අතරට එළවා, ඔවුන් දේශවල විසුරුවන්නෙමි. එවිට මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.’ “</verse>
			</chapter>
			<chapter number="31">
				<verse number="1">තවද, එකොළොස් වන අවුරුද්දේ තුන් වන මාසයේ පළමු වන දින සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජු වන පාරාවෝටත්, ඔහුගේ සෙනඟටත් මෙසේ කියන්න: නුඹ උසස්කමෙන් කවරෙකුට සමාන ද?</verse>
				<verse number="3">“නුඹ වනාහි සෙවණ ගෙන දෙන, ශෝභන අතු ඇති, වලාකුළුවල ගෑවෙන තරම් උසැති ලෙබනොන්හි කිහිරි ගසකට සමාන ය.</verse>
				<verse number="4">“එය වැඩෙන පිණිස වතුර ද පෝෂණය කරන පිණිස පොළොව යට උල්පත් ද තිබුණේ ය. ඒවායින් ගස වැඩෙන තැනට ජල ධාරා ගලා එන්නේ ය. එය වනයේ ඇති ගස්වලට ද දිය දහරා යැව්වේ ය.</verse>
				<verse number="5">“ඒ නිසා ඒ ගස වනයේ සියලු ගස්වලට වඩා උස ය. බොහෝ වතුර ලැබුණු නිසා, එහි අතු වැඩි වී දිගට ගියේ ය.</verse>
				<verse number="6">“ආකාශයේ සියලු පක්ෂීහු එහි අතුවල කූඩු සාදාගත්හ. එහි අතු යට වනයේ සියලු මෘගයෝ පැටවුන් ගැසූ හ. එහි සෙවණෙහි සියලු මහා ජාතීහු ද වාසය කළහ.</verse>
				<verse number="7">“එය විහිදී ගිය දිග අතු ඇති, ඉතා අලංකාර, මහා ගසක් විය. මක්නිසා ද, එහි මුල් බොහෝ ජලය ඇති තැන්වල ගැඹුරට ඇදී ගියේ ය.</verse>
				<verse number="8">“දෙවියන් වහන්සේගේ උයනේ ඇති කිසි ම කිහිරි ගසක් එයට සම කළ නොහැකි විය. දේවදාර ගස් එහි අතුවලට සමාන නො වී ය. අර්මොන් ගස් එහි රිකිලිවලට සැසඳුව විට ගණනට ගත නොහැකි විය. දෙවියන් වහන්සේගේ උයනෙහි කිසි ගසක් අලංකාරකමෙන් ඊට සමාන නො වී ය.</verse>
				<verse number="9">“එහි අතු රාශියෙන් මම එය අලංකාර කෙළෙමි. එබැවින් දෙවියන් වහන්සේගේ උයනෙහි, ඒදන්හි සියලු ම ගස්, ඊට ඊර්ෂ්‍යා කෙළේ ය.</verse>
				<verse number="10">“එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: වලාකුළුවල ගෑවෙන තරම් උසට වැඩුණ ඒ ගසට සිදු වන දේ මම නුඹට කියමි. එය උසට වැඩෙන්න වැඩෙන්න උඩඟු විය.</verse>
				<verse number="11">ඒ නිසා ජාතීන් අතරේ බලවන්තයා කැමැති හැටියට එයට කරන පිණිස ඔහු අතට ඒ ගස පාවා දෙන්නෙමි. ඔහු ඒ ගසේ දුෂ්ටකමට සරිලන සේ එයට කළ යුතු දේ කරන්නේ ය.</verse>
				<verse number="12">ජාතීන්ගෙන් ඉතා භයානක විදේශිකයෝ එය කපාදමා යන්නෝ ය. එහි අතු කඳු පිටත්, සියලු මිටියාවත්වලත් වැටෙන්නේ ය. එහි අතු කැඩී දේශයේ සියලු දිය පාරවල තිබෙන්නේ ය. පොළොවේ සියලු ජනයෝ ද එහි සෙවණෙන් ඉවත් වී එය අත්හැර යන්නෝ ය.</verse>
				<verse number="13">වැටී ඇති ගස් මත ආකාශයේ සියලු පක්ෂීහු ලගින්නෝ ය. එහි අතු උඩ වනයේ සියලු මෘගයෝ ඇවිදින්නෝ ය.</verse>
				<verse number="14">මෙතැන් සිට කිසි ම ගසකට කොපමණ හොඳට වතුර ලැබුණත් ඒ ගස මෙන් උසට වැඩෙන්නේ නැත; වලාකුළුවල ගෑවෙන තරම් උසට වැඩෙන්නේත් නැත. ඒ සියල්ල පාතාලයේ සිටින අය සමඟ එක් වන පිණිස මැරෙන්නට නියම ව සිටින සුළු මිනිසුන් මෙන් මැරී යන්නට නියම වී ඇත.</verse>
				<verse number="15">“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ඒ ගස පාතාලයට බැස යන දවසේ දී වැලපීමේ ලකුණක් වශයෙන් පොළොව යට වතුර ඊට නොලැබෙන්නට සලස්වන්නෙමි. මම ගංගාවන් නවත්වා එහි බොහෝ ජල ධාරාවන්ට ගලා යන්න ඉඩ නොදෙන්නෙමි. ලෙබනොන් අන්ධකාරයෙන් ආවරණය කරන්නෙමි; ගොඩබිම සියලු ගස් ද එයින් මැලවී යන්නේ ය.</verse>
				<verse number="16">මිනී වළට බසින්නන් සමඟ මා ඒ ගස පාතාලයට හෙළාදැමූ කල එහි වැටීමේ ශබ්දයට ජාතීන් වෙවුළවන්නෙමි. එවිට ඒදන්හි සියලු ගස් ද ලෙබනොන්හි ඉතා වටිනා ගස් ද එනම්, වතුර බොන සියල්ලන් ම, පාතාලයේ දී සැනසෙනු ඇත.</verse>
				<verse number="17">ඒ ගස සමඟ එහි සෙවණ යට ජීවත් වූ සියලු ජාතීන් ද කඩුවෙන් මැරුම් කෑ අය ද පාතාලයේ දී එක්වනු ඇත.</verse>
				<verse number="18">“ඒ ගස නම්, මිසර දේශයේ රජු හා ඔහුගේ සියලු සෙනඟ ය. ඒදන්හි තිබුණු ගස් උසින් ද තේජසින් ද ඒ ගසට සමාන නො වී ය. එහෙත් දැන් ඒදන්හි ගස් මෙන් එය අචර්මඡේදිත වූ, කඩුවෙන් මැරුම් කෑ අය සමඟ එක් වන පිණිස පාතාල ලොවට යන්නේ ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”</verse>
			</chapter>
			<chapter number="32">
				<verse number="1">තවද, දොළොස් වන අවුරුද්දේ දොළොස් වන මාසයේ පළමු වන දා සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජු වන පාරාවෝ ගැන විලාපයක් නඟමින් ඔහුට මෙසේ කියන්න: නුඹ ජාතීන් අතරෙහි තරුණ සිංහයෙකුට සමාන කරනු ලැබුවෙහි ය. නුඹ ජලයෙහි සිටින කිඹුලෙකු වැනි ය. නුඹේ ගංගාවල නුඹ පැන පැන ගොස්, නුඹේ පාදවලින් වතුර කළඹා ගංගා කිළුටු කෙළෙහි ය.</verse>
				<verse number="3">දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. රැස්ව සිටින බොහෝ ජනයන් ඇතුළු ව නුඹ පිට මාගේ දැල හෙළන්නෙමි. ඔවුන් මාගේ දැලෙන් නුඹ ගොඩට අදිනු ඇත.</verse>
				<verse number="4">එවිට මම නුඹ බිම දමා, පොළෝ තලය මතු පිට හෙළා ආකාශයේ සියලු පක්ෂීන් නුඹ පිට වහන්නටත්, මුළු පොළොවේ සත්ත්වයන් නුඹේ මාංසය කා තෘප්තියට පැමිණෙන්නටත් සලස්වන්නෙමි.</verse>
				<verse number="5">මම නුඹේ මාංස කඳු පිට විසුරුවා මිටියාවත් මළකඳන්වලින් පුරවන්නෙමි.</verse>
				<verse number="6">නුඹේ ලේ කඳු දක්වා ගලා ගොස් දිය ඇලවල් එයින් පිරෙනු ඇත.</verse>
				<verse number="7">නුඹ විනාශ වන කල, මම අහස මුවා කොට, එහි තාරකා අඳුරු කර, වලාකුළකින් ඉර වසන්නෙමි; සඳත් එහි එළිය නොදෙන්නේ ය.</verse>
				<verse number="8">අහසේ බබළන සියලු ආලෝකයන් නුඹ නිසා මම අඳුරු කොට, නුඹේ දේශය මත අන්ධකාරය පමුණුවන්නෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="9">“නුඹ නොදත් රටවලට, ජාතීන් අතරට, නුඹ වහල්කමට ගෙන යන කල, මම බොහෝ ජනයන්ගේ සිත් ශෝක කරවන්නෙමි.</verse>
				<verse number="10">එසේ ය, මම නුඹට කරන දේ ගැන බොහෝ ජනයන් විස්මයට පමුණුවන්නෙමි. ඔවුන් ඉදිරිපිට මාගේ කඩුව ලෙළවන කල ඔවුන්ගේ රජවරු නුඹ නිසා භීතියෙන් තැතිගන්නෝ ය. නුඹේ වැටීමේ දවසේ දී ඔව්හු එක එකා තම තමාගේ ප්‍රාණ ගැන මොහොතෙන් මොහොත වෙවුළන්නෝ ය.</verse>
				<verse number="11">“මක්නිසා ද, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බබිලෝනියේ රජුගේ කඩුව නුඹ පිට පතිත වන්නේ ය.</verse>
				<verse number="12">ජාතීන්ගෙන් ඉතා දරුණු අය වන මාගේ බලවතුන්ගේ කඩු පහරින් නුඹේ සෙනඟ විනාශ කරන්නට මම සලස්වන්නෙමි. ඔවුන් මිසරයේ අභිමානය බිඳදමනු ඇත. එහි මුළු ජනගහනය විනාශ වනු ඇත.</verse>
				<verse number="13">මම එහි සියලු මෘගයන් ජලය පිරී ඇති තැන්වලින් විනාශ කරන්නෙමි. මිනිසුන්ගේ පාදවලට ඒවා තවත් බොරවන්නේ නැත. මෘගයන්ගේ කුරවලටත් ඒවා බොරවන්නේ නැත.</verse>
				<verse number="14">නුඹේ ජලය පෑදෙන්නටත්, නුඹේ ගංගා තෙල් මෙන් ගලා යන්නටත් සලස්වන්නෙමි.</verse>
				<verse number="15">මා මිසර දේශය නිර්ජන කර, එහි ඇති සියලු දේශ නැති කර, එහි සියලු වැසියන්ට මා පහර දෙන කල ද මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.</verse>
				<verse number="16">මිනිසුන් අතර නඟන විලාපය මේ ය: ‘ජාතීන්ගේ කාන්තාවන් ඒ ගැන විලාප කියනු ඇත. මිසරය ගැනත්, එහි මුළු සමූහය ගැනත් ඔවුන් විලාප කියනු ඇත.’ මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”</verse>
				<verse number="17">තවද, දොළොස් වන අවුරුද්දේ පළමු වන මාසයේ පහළොස් වන දා සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="18">“මනුෂ්‍ය පුත්‍රය, නුඹ මිසරයේ මුළු ජනගහණය ගැන විලාප ගීයක් ගයන්න. ඔවුන් සහ බලවත් ජාතීන්ගේ කාන්තාවන් ද වළ පල්ලට යන අය සමඟ පොළොවේ යට ඇති පාතාලයට හෙළන්න.</verse>
				<verse number="19">නුඹ කවරෙකුට වඩා රූපසම්පන්න වන්නෙහි ද? නුඹ බැස ගොස් අචර්මඡේදිතයන් සමඟ වැටී හිඳින්න.</verse>
				<verse number="20">“කඩුවෙන් මැරුම් කන අය අතරෙහි ඔවුන් වැටෙනු ඇත. ඈ සහ ඇගේ සියලු සමූහයන් මැරී සිටිනු ඇත.</verse>
				<verse number="21">බලවතුන්ගේ උත්තමයෝ ඔහුගේ සහකාරයන් සමඟ පාතාලය මැද සිට ඔහුට කතා කරති. අචර්මඡේදිත වූ, කඩුවෙන් මැරුම් කෑ අය බැස ගොස් වැටී සිටිති.</verse>
				<verse number="22">“අසිරියාව සහ ඇගේ මුළු හමුදාව එහි ය. ඔවුන්ගේ මිනී වළවල් ඔහු අවටින් ඇත්තේ ය. ඔව්හු සියල්ලෝ ම කඩුපහරින් වැටී මැරුම් කෑහ.</verse>
				<verse number="23">ඔවුන්ගේ මිනී වළවල් පාතාලයේ ඉතා ගැඹුරු තැන්වල සාදා තිබේ. ඇගේ හමුදාව ඇගේ මිනී වළ වටකර සිටිති. ජීවත් වෙන්නවුන්ගේ දේශයෙහි භීතිය ඉපදවූ ඔව්හු සියල්ලෝ ම කඩු පහරින් වැටී මැරුම් කෑහ.</verse>
				<verse number="24">“එහි ඒලාම් සහ ඇගේ මිනී වළ වටකර ඇගේ මුළු හමුදාව සිටිති. ඔව්හු සියල්ලෝ ම කඩු පහරින් වැටී මැරුම් කෑහ. ජීවත්වූවන්ගේ දේශයෙහි භීතිය ඉපදවූ ඔව්හු අචර්මඡේදිත ව පොළොවේ පාතාල තැන්වලට බැස ගියෝ ය. ඔව්හු ද වළ පල්ලට යන අය සමඟ තමන්ගේ නින්දාව දරා සිටිති.</verse>
				<verse number="25">මැරුම්කෑ අය කෙරෙහි ඇගේ මුළු හමුදාව මධ්‍යයෙහි ඈට යහනක් තබා තිබේ. ඔවුන්ගේ මිනී වළවල් ඈ වටකර ඇත. ඔව්හු සියල්ලෝ ම අචර්මඡේදිත වූ, කඩුපහරින් මැරුම්කෑ අය ය. ජීවත් ව සිටිය දී ඔව්හු භීතිය පතුරුවා හැරියෝ ය. එහෙත්, දැන් ඔව්හු මරණයට ගොදුරු වී පාතාල ලෝකයට බැස යන්නන් සමඟ නින්දාවට පත් වෙති.</verse>
				<verse number="26">“එහි මෙෂෙක් ද තුබල් ද ඇගේ මුළු හමුදාව සමඟ සිටිති. ඔවුන්ගේ මිනී වළවල් ඈ වටකර ඇත්තේ ය. ඔව්හු සියල්ලෝ ම අචර්මඡේදිත වූ, කඩු පහරින් මැරුම්කෑ අය වෙති. එහෙත් වරක් ඔව්හු ජීවත් ව සිටින්නන් භීතියට පත් කළහ.</verse>
				<verse number="27">වැටී තමන්ගේ යුද්ධායුධ පිටින් පාතාලයට බැස ගියාවූ, තමන්ගේ කඩු තමන්ගේ හිස යට තබාගත්, තමන්ගේ පලිස් තමන්ගේ ඇටකටු මත තබාගත්, අචර්මඡේදිත බලවතුන් සමඟ ඔව්හු වැටී නොසිටින්නෝ ය. කුමක්නිසා ද, ජීවත් ව සිටින්නන්ගේ දේශයෙහි ඔව්හු බලවතුන්ට භීතියක් ව සිටියෝ ය.</verse>
				<verse number="28">“එහෙත්, අචර්මඡේදිතයන් අතරෙහි නුඹ පොඩි වී නැසුණු අය සමඟ වැටී සිටින්නෙහි ය.</verse>
				<verse number="29">“එහි ඒදොම් සහ ඇගේ රජවරු ද ඇගේ සියලු ම අධිපතීහු ද සිටිති. ඔව්හු බලවන්තයන් ව සිටි නමුත්, කඩුවෙන් මැරුම්කෑ අය සමඟ තැන්පත් කරනු ලැබුවෝ ය. ඔවුන් අචර්මඡේදිතයන් ද වළ පල්ලට යන්නන් ද සමඟ වැටී සිටිනු ඇත.</verse>
				<verse number="30">“එහි උතුරු දිශාවේ සියලු උත්තමයෝ ද සියලු සීදොන්වරු ද සිටිති. ඔව්හු මැරුම්කෑ අය සමඟ බැස ගියෝ ය. ඔව්හු තමන්ගේ බලවන්තකමෙන් ඉපදවූ භීතිය ගැන ලජ්ජා වී, කඩුවෙන් මැරුම්කෑ අය සමඟ වැටී ඉඳ, වළ පල්ලට යන්නන් සමඟ තමන්ගේ නින්දාව දරති.</verse>
				<verse number="31">“පාරාවෝ සහ ඔහුගේ මුළු සේනාව කඩුවෙන් මැරුම්කෑ අය දැක සතුටුවන්නෝ යයි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="32">“වරක් ජීවත් ව සිටින අයගේ දේශය මුළුල්ලේ භීතිය පැතිරෙව්වේ ය. එහෙත්, පාරාවෝ ද ඔහුගේ මුළු හමුදාව ද කඩුවෙන් මැරුම්කෑ අය සමඟ අචර්මඡේදිතයන් අතරෙහි වැටී සිටිති. දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”</verse>
			</chapter>
			<chapter number="33">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“මනුෂ්‍ය පුත්‍රය, නුඹේ රටවැසි සෙනඟට කතා කොට මෙසේ කියන්න: මා යම් දේශයකට යුද්ධය පමුණුවන විට ඒ දේශයේ සෙනඟ තමන් අතරෙන් මනුෂ්‍යයෙකු තෝරාගෙන තමන්ට මුර සෙබළා කොට පත් කරනු ඇත.</verse>
				<verse number="3">ඔහු සතුරු සේනා එනු දැක හොරණෑව පිඹ, ඒ ගැන සෙනඟට දන්වනු ඇත.</verse>
				<verse number="4">හොරණෑ ශබ්දය අසා එය නොසලකා සිටින යම් කෙනෙකු කඩුවෙන් මරනු ලැබුවොත්, ඔහුගේ මරණයට ඔහු ම වගකිව යුතු වේ.</verse>
				<verse number="5">ඔහු හොරණෑ ශබ්දය අසා නොසලකා සිටි බැවින් ඔහුගේ මරණය ඔහුගේ ම වරදින් සිදු වූවකි. එහෙත්, ඔහු අනතුරු ඇඟවීම සැලකුවේ නම්, තමාගේ ප්‍රාණය ගළවාගන්න ඔහුට ඉඩ තිබිණි.</verse>
				<verse number="6">එහෙත්, මුර සෙබළා සතුරු සේනා පැමිණෙනු දැක සෙනඟට දන්වන ලෙස හොරණෑව නොපිඹ සිටියොත්, අනතුර නොදත් සෙනඟ අතරෙන් පවිටු ව සිටින ඕනෑ ම කෙනෙකු සතුරන් අතින් මරණයට ගොදුරු වුවහොත් ඒ මරණයට මුර සෙබළා වගකිවයුත්තා වශයෙන් මම සලකමි.</verse>
				<verse number="7">“ ‘එසේ ම මනුෂ්‍ය පුත්‍රය, මම නුඹ ඉශ්රායෙල් සෙනඟට මුර සෙබළෙකු කෙළෙමි. නුඹ ද මාගේ මුවින් වචනය අසා මාගේ නාමයෙන් ඔවුන්ට අවවාද කරන්න.</verse>
				<verse number="8">එම්බා දුෂ්ටය, නුඹ නසිනවා ම ඇතැ යි මා දුෂ්ටයාට කී කල්හි තමාගේ මාර්ගයෙන් හැරෙන ලෙස දුෂ්ටයාට අවවාද කිරීමට නුඹ කතා නොකර සිටියොත්, දුෂ්ට වූ ඔහු තමාගේ පාපයෙහි ම නසිනු ඇත. එහෙත්, නුඹ ඔහුගේ මරණය ගැන වගකිවයුත්තා වශයෙන් මම සලකමි.</verse>
				<verse number="9">එසේ වී නමුත් තමාගේ මාර්ගයෙන් හැරෙන ලෙස නුඹ ඒ ගැන දුෂ්ටයාට අවවාද කළ කල්හි ඔහු තමාගේ මාර්ගයෙන් නොහැරුණොත්, ඔහු තමාගේ අයුතුකම නිසා නසිනු ඇත. එසේ වූවොත්, නුඹේ ප්‍රාණය නුඹ ගළවාගනු ඇත.’ “</verse>
				<verse number="10">සමිඳාණන් වහන්සේ තවදුරටත් මෙසේ වදාළ සේක: “තවද, මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශයට මෙසේ කියන්න: ‘අපේ වරද සහ අපේ පාප ද අප කෙරෙහි තිබී, අප එයින් ක්ෂය වී යද්දී, අප ජීවත් වන්නේ කොහොම දැ’යි නුඹලා කියන්නහු ය.</verse>
				<verse number="11">මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මෙසේ කියමි: ‘දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත්වනවාට මිස, ඔහු නසිනවාට මම ප්‍රසන්න නොවෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. ඉශ්රායෙල් ජනයෙනි, හැරෙන්න, නුඹලාගේ නපුරු මාර්ගවලින් හැරෙන්න; නුඹලා නසින්නේ කුමට දැ’යි ඔවුන්ට කියන්න.</verse>
				<verse number="12">“දැහැමි මිනිසෙකු පව් කළ විට ඔහුගේ පෙර දැහැමි ක්‍රියා ඔහුට ගැළවීම අත්කර නොදෙයි. දුෂ්ට මිනිසෙකු සිය දුෂ්ටකමෙන් හැරුණොත්, ඔහුගේ පසුගිය දුෂ්ටකම් නිසා ඔහු නසින්නේ නැත. දැහැමි මිනිසෙකු පව් කළ විට ඔහුගේ දැහැමිකම නිසා ගැළවීම ලබන්න ඔහුට පුළුවන් වන්නේ නැත.</verse>
				<verse number="13">නුඹ සැබැවින් ජීවත් වන්නෙහි යයි මා දැහැමි මිනිසාට කී නමුත්, ඔහු තමාගේ දැහැමිකම කෙරෙහි විශ්වාසය තබමින් අපරාධ කළොත්, ඔහුගේ දැහැමි ක්‍රියා කිසිවක් සිහි කරනු නොලබන්නේ ය; ඔහු කළ අපරාධ නිසා ඔහු නසිනු ඇත.</verse>
				<verse number="14">නුඹ නසිනු ඇතැ යි මා දුෂ්ටයාට කී නමුත්, ඔහු තමාගේ පාපයෙන් හැරී යුක්තිය ද දැහැමි ක්‍රියා ද කළොත්,</verse>
				<verse number="15">ඔහු උකසට ගත් දේ නැවත දී, කොල්ලකාගත් දේ ආපසු දුන්නොත්, අදමිටුකම් නොකර පණත් අනුව ජීවත් වුවහොත් ඔහු නොමැරී ජීවත් වන්නේ ය;</verse>
				<verse number="16">ඔහුගේ කිසි ම පාපයක් ඔහුට විරුද්ධ ව සිහිකරනු නොලබන්නේ ය. ඔහු යුක්ති සහගත හරි දේ කෙළේ ය; ඔහු සැබැවින් ම ජීවත් වන්නේ ය.</verse>
				<verse number="17">“ ‘එහෙත්, සමිඳාණන් වහන්සේගේ ක්‍රියා අසාධාරණ යැ’යි නුඹේ රටවැසි සෙනඟ කියති. එහෙත්, අසාධාරණ වන්නේ ඔවුන්ගේ ක්‍රියා ය.</verse>
				<verse number="18">දැහැමි මිනිසා තමාගේ දැහැමි ක්‍රියා අත්හැර අයුතුකම් කළොත්, ඔහු ඒ නිසා නසිනු ඇත.</verse>
				<verse number="19">දුෂ්ටයා ද තමාගේ දුෂ්ටකමෙන් හැරී යුක්ති සහගත හරි දේ කළොත්, ඔහු ඒ නිසා ජීවත් වනු ඇත.</verse>
				<verse number="20">එහෙත්, ‘සමිඳාණන් වහන්සේගේ ක්‍රියා අසාධාරණ යැ’යි නුඹලා කියන්නහු ය. එම්බා ඉශ්රායෙල් ජනයෙනි! මම නුඹලා එකිනෙකා තම තමාගේ ම ක්‍රියා ලෙස විනිශ්චය කරන්නෙමි.”</verse>
				<verse number="21">අපේ වහල්කමේ දොළොස් වන අවුරුද්දේ දස වන මාසයේ පස් වන දින ජෙරුසලමෙන් ගැළවී ආ කෙනෙක් මා ළඟට අවුත්, “නුවර සතුරන්ට අත්පත් වී ය”යි කී ය.</verse>
				<verse number="22">ගැළවී ආ තැනැත්තා එන්නට පෙර දා සවස සමිඳාණන් වහන්සේගේ බලය මා පිට පැමිණ තිබුණේ ය. ඒ මිනිසා පසු දින උදේ මා වෙත එන විට උන් වහන්සේ කතා ශක්තිය මට දී තිබුණේ ය. මාගේ මුඛය ඇරී, මම තවත් ගොළු ව නොසිටියෙමි.</verse>
				<verse number="23">සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="24">“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් දේශයෙහි තිබෙන ඒ පාළු ඉඩම්වල වසන්නෝ කතා කොට, ‘ආබ්‍රහම් එක් කෙනෙකු ව සිටි නමුත්, ඔහුට දේශය උරුම විය. අපි වනාහි බොහෝ දෙනෙක් ය; දේශය ද උරුමයක් කොට අපට දී තිබේ ය’යි කියති.</verse>
				<verse number="25">“එබැවින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට කියන්න: ‘ලේ පිටින් මස් කන, රූපවලට නමස්කාර කරන, ලේ වගුරුවන, නුඹලාට දේශය භුක්ති විඳින්න ලැබේ ද?</verse>
				<verse number="26">නුඹලාගේ කඩුව කෙරෙහි විශ්වාසය තබා සිටින, පිළිකුල් ක්‍රියා කරන, තම තමාගේ අසල්වැසියාගේ භාර්යාව දූෂණය කරන නුඹලාට දේශය භුක්ති විඳින්න ලැබේ ද?’</verse>
				<verse number="27">“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට කියන්න: මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මෙසේ කියමි, පාළු ඉඩම්වල සිටින්නෝ කඩු පහරින් වැටෙන්නෝ ය; කෙතේ සිටින අය, වනමෘගයන්ට ගොදුරු පිණිස දෙන්නෙමි; බලකොටුවල ද ගුහාවල ද සිටින්නෝ වසංගතයෙන් නසින්නෝ ය.</verse>
				<verse number="28">මම දේශය පාළුවක් ද නාස්තියක් ද කරන්නෙමි. ඇගේ ශක්තිය කෙරෙහි අභිමානය අවසාන වන්නේ ය; ඉශ්රායෙල් කඳුවලට කිසිවෙකු යාමට වුවමනා නොවන ලෙස ඒවා පාළු වන්නේ ය.</verse>
				<verse number="29">ඔවුන් කළ සියලු පිළිකුල් ක්‍රියා නිසා මා දේශය පාළුවක් ද නාස්තියක් ද කළ විට මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.</verse>
				<verse number="30">“තවද, මනුෂ්‍ය පුත්‍රය, නුඹේ රටවැසි සෙනඟගේ පවුරු ළඟ දී ද ගෙවල්වල දොරකඩවල දී ද නුඹ ගැන කතා කොට, ‘එන්න, සමිඳාණන් වහන්සේගෙන් පැමිණෙන වචනය කුමක් ද කියා අසන්නැ’යි එකිනකො තම තමාගේ සහෝදරයාට කියති.</verse>
				<verse number="31">එසේ ඔව්හු සෙනඟක් එන්නාක් මෙන් නුඹ ළඟට අවුත්, මාගේ සෙනඟ මෙන් නුඹ ඉදිරියෙහි හිඳගෙන නුඹේ වචන අසති. එහෙත්, ඔව්හු ඒවා නොපිළිපදිති, මක්නිසා ද, තමන්ගේ වචනයකින් ඔව්හු බොහෝ ආදරය පෙන්වති; එහෙත්, ඔවුන්ගේ සිතින් ඔව්හු සිය ලාභය සොයති.</verse>
				<verse number="32">නුඹ වනාහි මිහිරි කටහඬක් ඇති, හොඳින් වාදනය කරන පෙම් ගී ගයන්නෙකු වැනි ය. මක්නිසා ද ඔව්හු නුඹේ වචන අසති; එහෙත් ඒවා නොපිළිපදිති.</verse>
				<verse number="33">නුඹ කියන දේ සිදු වන්නේ ම ය. එය සිදු වන කල තමන් අතරෙහි දිවැසිවරයෙකු සිටින බව ඔවුන් දැනගනු ඇත.”</verse>
			</chapter>
			<chapter number="34">
				<verse number="1">තවද, සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල්වරුන්ගේ එඬේරුන්ට විරුද්ධ ව දිවැස් වැකි කියන්න. දිවැස් වැකි කියමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට එනම්, එඬේරුන්ට කියන්න. තමන් ම පෝෂණය කරගන්න ඉශ්රායෙල් එඬේරුනි, නුඹලාට වන විපතක මහත! නුඹලා බැටළුවන් පෝෂණය කළ යුතු නොවන්නහු ද?</verse>
				<verse number="3">නුඹලා කිරි බොන්නහු ය; ලෝම ඇඳුම් ඇඳගන්නහු ය; තර සතුන් මරා කන්නහු ය. එහෙත්, නුඹලා බැටළුවන් පෝෂණය නොකරන්නහු ය;</verse>
				<verse number="4">දුර්වල බැටළුවන් නුඹලා ශක්තිමත් කෙළේ වත්, ලෙඩ වූ බැටළුවන් සුව කෙළේ වත්, තුවාළ වූ බැටළුවන්ගේ තුවාළ බැන්දේ වත් නැත; මුළා ව ගිය බැටළුවන් නැවත ගෙනාවේ වත්, නැති වූ බැටළුවන් සෙව්වේ වත් නැත. බලයෙන් ද කුරිරු ලෙස ද නුඹලා උන් පාලනය කළහු ය.</verse>
				<verse number="5">එඬේරෙකු නැති ව බැටළුවෝ විසිරී ගොස් සියලු වන මෘගයන්ට ගොදුරු වූ හ.</verse>
				<verse number="6">මාගේ බැටළුවෝ සියලු කඳුවල ද උස් වූ සියලු හෙල් පිට ද මුළා ව ගියහ. එසේ ය, මුළු පොළෝ තලයෙහි මාගේ බැටළුවෝ විසිරී ගියහ. උන් සොයන්න හෝ බලන්න හෝ කිසිවෙක් නොවූ හ.</verse>
				<verse number="7">“එබැවින් එඬේරුනි, සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න.</verse>
				<verse number="8">දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ ජීවමාන නාමයෙන් මෙසේ දිවුරා කියමි: එඬේරෙකු නැති බැවින් මාගේ බැටළුවන් වන මෘගයන් විසින් ඩැහැගෙන යනු ලැබ උන්ට ගොදුරු වී ඇත; මාගේ එඬේරු මාගේ බැටළුවන් සොයන්න උත්සාහ නොකර, මාගේ බැටළුවන් පෝෂණය නොකර, තමන් ම පෝෂණය කරගත්හ.</verse>
				<verse number="9">එබැවින්, එඬේරුනි, සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න.</verse>
				<verse number="10">මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න, මම එඬේරුන්ට විරුද්ධ ව සිට මාගේ බැටළුවන් ඔවුන් අතින් ආපසු ගන්නෙමි. ඒ එඬේරුන් බැටළුවන් රැකබලාගැනීමෙන් මම අස් කරන්නෙමි. තවත් තමන් ම පෝෂණය කරගන්න එඬේරුන්ට ඉඩ නොදෙමි. මාගේ බැටළුවන් ඔවුන්ට ගොදුරු නොවන ලෙස මම ඔවුන්ගේ කටින් උන් ගළවා ගන්නෙමි.”</verse>
				<verse number="11">“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: බලන්න, මම ම මාගේ බැටළුවන් ගැන සොයා බලා, උන් රැකබලාගන්නෙමි.</verse>
				<verse number="12">එඬේරෙකු තමාගේ බැටළු රැළෙන් විසිර ගිය සමහරෙකු සොයා යන්නාක් මෙන් මමත් මාගේ බැටළුවන් සොයා ගොස්, මීදුම සහ අන්ධකාරය ඇති දවසේ දී උන් විසිරී ගිය සෑම තැන්වලින් උන් ගළවාගන්නෙමි.</verse>
				<verse number="13">මම ජාතීන් අතරෙන් උන් පිටතට පමුණුවා, ඒ විදේශවලින් උන් රැස් කර, උන්ගේ ම රටට උන් ගෙනවුත්, ඉශ්රායෙල් කඳුවල ද දෙණිවල ද දේශයේ සියලු වාසස්ථානවල ද උන් පෝෂණය කරන්නෙමි.</verse>
				<verse number="14">හොඳ තෘණවලින් උන් පෝෂණය කරන්නෙමි. ඉශ්රායෙල් කඳුවල උස් තැන්හි උන්ගේ තණ බිම් වන්නේ ය. එහි හොඳ තණ බිම්වල උන් ලගිනු ඇත. ඉශ්රායෙල් කඳුවල උන් සාරවත් තණ කනු ඇත.</verse>
				<verse number="15">මම ම මාගේ බැටළුවන්ට එඬේරා වන්නෙමි; මම ම උන්ට ලගින්න තැනක් සොයා දෙන්නෙමි. මෙසේ වදාරන්නේ දෙවි ස්වාමීන් වහන්සේ ය.</verse>
				<verse number="16">“මම නැති වූ බැටළුවා සොයන්නෙමි; මුළා ව ගිය බැටළුවා ආපසු ගෙනෙන්නෙමි; තුවාළ වූ බැටළුවාගේ තුවාළ බඳින්නෙමි; ලෙඩ වූ බැටළුවා ශක්තිමත් කරන්නෙමි; ශක්තිමත් වූ බැටළුවන් රැකබලාගන්නෙමි. මම උන්ට සැබෑ එඬේරෙක් වන්නෙමි.</verse>
				<verse number="17">“මාගේ බැටළුවෙනි, නුඹලාට දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. හොඳ බැටළුවන්ගෙන් නරක බැටළුවන් මම වෙන්කරන්නෙමි.</verse>
				<verse number="18">නුඹලාගෙන් සමහරු හොඳ තණ කෑමෙන් සෑහීමට පත් නොවනු පමණක් නොව, ඉතිරි හොඳ තණ පවා පාගාදමන්නෝ ය; නුඹලා පිරිසිදු වතුර බොනවා පමණක් නොව හොඳ වතුර පාගා මඩ කරන්නහු ය.</verse>
				<verse number="19">මාගේ සෙසු බැටළුවන්ට නුඹලා පාගාදැමූ තණ කන්නට ද නුඹලා මඩ කළ වතුර බොන්නට ද සිදු වී ඇත.”</verse>
				<verse number="20">“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ එඬේරුන්ට මෙසේ වදාරන සේක: බලන්න, මම ම තර බැටළුවන් කෙට්ටු බැටළුවන්ගෙන් වෙන්කරන්නෙමි.</verse>
				<verse number="21">දුර්වල වූ සියල්ලන් විසුරුවාදමන තුරු නුඹලා ඇලපෙතන් ද උරහිසෙන් ද තල්ලු කර, නුඹලාගේ අංවලින් උන්ට අනින බැවින්,</verse>
				<verse number="22">මාගේ බැටළුවන් තවත් ගොදුරු නොවන ලෙස මම උන් ගළවා, බැටළුවන් විනිශ්චය කර හොඳ උන් නරක උන්ගෙන් වෙන්කරන්නෙමි.</verse>
				<verse number="23">ඔවුන් පෝෂණය කිරීමට එක ම එඬේරෙකු වන මාගේ සේවක දාවිත් වැනි රජ කෙනෙකු ඔවුන් කෙරෙහි පත් කරන්නෙමි. හෙතෙම ඔවුන් පෝෂණය කොට ඔවුන්ගේ එඬේරා වන්නේ ය.</verse>
				<verse number="24">සමිඳාණන් වහන්සේ වන මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. මාගේ සේවක දාවිත් ඔවුන් අතරේ අධිපතියා වන්නේ ය; සමිඳාණන් වහන්සේ වන මම එසේ කීමි.</verse>
				<verse number="25">“මම ඔවුන් සමඟ සාමදාන ගිවිසුමක් කරන්නෙමි, ඔවුන්ට සුව සේ පාළුකරයේ වසන්නටත්, කැලෑවල නිදා ගන්නටත් පුළුවන් වන ලෙස මම චණ්ඩ මෘගයන් දේශයෙන් පහකරන්නෙමි.</verse>
				<verse number="26">“මම ඔවුන්ට ආශීර්වාද කර, මාගේ ශුද්ධ කන්ද අවට විසීමට සලසාදෙන්නෙමි. වැස්ස නියම කාලයට වස්වන්නෙමි. ඒවා ආසිරි වැසි වන්නේ ය.</verse>
				<verse number="27">කෙතේ ගස්වල පල හටගන්නේ ය. දේශයෙන් අස්වැන්න උපදින්නේ ය. සියලු දෙන සිය දේශයෙහි නිරුපද්‍ර ව වසන්නෝ ය. මා ඔවුන්ගේ වියගස් කඩා, ඔවුන් වහල්කරගත් අයගේ අත්වලින් ඔවුන් මුදාගත් විට මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.</verse>
				<verse number="28">විජාතීන්ට තවත් ඔව්හු කොල්ලයක් නොවන්නෝ ය. මේ රටේ වන මෘගයන් උන් කන්නේ නැත; කිසිවෙකු ඔවුන් බිය ගන්වන්නේ නැත; ඔවුන් සුව සේ වාසය කරනු ඇත.</verse>
				<verse number="29">මම ඔවුන්ට සශ්‍රීක වතු පිටි උපදවන්නෙමි. ඔව්හු තවත් දේශයේ සාගතයෙන් විනාශ නොවන්නෝ ය. විජාතීන්ගේ නින්දාවට ලක් නොවන්නෝ ය.</verse>
				<verse number="30">මෙසේ ඔවුන්ගේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මා ඔවුන් සමඟ වැඩසිටින බව ද ඉශ්රායෙල් ජාතිය වන ඔවුන් මාගේ සෙනඟ බව ද ඔව්හු දැනගන්නෝ ය. මෙසේ වදාරන්නේ දෙවි ස්වාමීන් වහන්සේ ය.</verse>
				<verse number="31">“ ‘මාගේ බැටළුවන් වන, මා විසින් පෝෂණය කරනු ලබන නුඹලා වනාහි මනුෂ්‍යයෝ ය; මම නුඹලාගේ දෙවියන් වහන්සේ ය’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”</verse>
			</chapter>
			<chapter number="35">
				<verse number="1">තවද, සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ සේයිර් කන්ද දෙසට හරවාගෙන, ඊට විරුද්ධ ව දිවැස් වැකි පවසමින්,</verse>
				<verse number="3">මෙසේ කියන්න. ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. එම්බා සේයිර් කන්ද, බලන්න, මම නුඹට විරුද්ධ ව, මාගේ අත නුඹට දිගු කොට, නුඹ පාළුවක් ද නාස්තියක් ද කරන්නෙමි.</verse>
				<verse number="4">මම නුඹේ නගර නටබුන් ගොඩක් කරන්නෙමි; නුඹ පිරිහෙන්නට සැලැසූ විට මා සමිඳාණන් වහන්සේ බව නුඹ දැනගන්නෙහි ය.</verse>
				<verse number="5">එ”නුඹ නිරන්තරයෙන් සතුරුකම් කරමින් සිට, අන්තිම දඬුවමට මූණ පා සිටි ඉශ්රායෙල් සෙනඟගේ විපත්ති කාලයේ දී ඔවුන් කඩුවේ බලයට පාවා දුන් බැවින්,</verse>
				<verse number="6">මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මම මෙසේ වදාරන්නෙමි: මම නුඹ මරණයට සූදානම් කරන්නෙමි; මරණය නුඹ ලුහුබැඳ එන්නේ ය. නුඹ මිනී මැරීමට විරුද්ධ නොවූ බැවින් මරණය නුඹ ලුහුබැඳ එන්නේ ය.</verse>
				<verse number="7">මම සේයිර් කන්ද පාළුවක් ද නාස්තියක් ද කොට, එහි යන එන කෙනෙකු නැති ව තිබෙන්න සලස්වන්නෙමි.</verse>
				<verse number="8">මැරුම් කන අයගේ මළකඳන්වලින් නුඹේ කඳු පුරවන්නෙමි. නුඹේ හෙල්වල ද නුඹේ මිටියාවත්වල ද නුඹේ සියලු දෙණිවල ද කඩුවෙන් මැරුම් කන අය වැටෙනු ඇත.</verse>
				<verse number="9">මම නුඹ සදහට ම පාළුවක් කරන්නෙමි. නුඹේ නගරවල ද වැසියෝ නොසිටින්නෝ ය. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.</verse>
				<verse number="10">“සමිඳාණන් වහන්සේ මෙහි සිටියදීත් නුඹලා, මේ ජාති දෙක ද රටවල් දෙක ද මට අයිති වන්නේ ය කියාත්, අපි එය හිමි කර ගන්නෙමු කියාත් කී බැවින්,</verse>
				<verse number="11">මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මම මෙසේ වදාරන්නෙමි: ඔවුන් කෙරෙහි තිබෙන නුඹේ වෛරයෙන් නුඹ මවා පෑවා වූ නුඹේ උදහසේ හැටියටත්, නුඹේ ඊර්ෂ්‍යාවේ හැටියටත් මම නුඹට දඬුවම් කරන්නෙමි. මා නුඹ විනිශ්චය කරන කල නුඹලා අතරෙහි මම ප්‍රකාශ වන්නෙමි.</verse>
				<verse number="12">ඒවා පාළු වී විනාශ කිරීමට අපට පැවරී ඇතැ යි කියමින්, නුඹ ඉශ්රායෙල් කඳුවලට විරුද්ධ ව කී නුඹේ සියලු ම අපහාස කතා සමිඳාණන් වහන්සේ වන මා ඇසූ බව නුඹ දැනගන්නෙහි ය.</verse>
				<verse number="13">නුඹලා මට විරුද්ධ ව නැඟී සිට මට ගරහන විධියට බොහෝ සේ කතා කර ඇත. එය මම මාගේ ම කනින් ඇසීමි.”</verse>
				<verse number="14">මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “මුළු පොළොවට ප්‍රීතියක් වන ලෙස මම නුඹ පාළුවක් කරවන්නෙමි.</verse>
				<verse number="15">මාගේ ම උරුමය වන ඉශ්රායෙල් දේශය පාළුවක් වූ විට නුඹ ඊට ප්‍රීති වුණාක් මෙන් මම නුඹට ද එසේ වීමට සලසන්නෙමි; එම්බා සේයිර් කන්ද! නුඹ සහ මුළු ඒදොම් මුළුමනින් ම පාළුවක් වන්නහු ය. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”</verse>
			</chapter>
			<chapter number="36">
				<verse number="1">“තවද, මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඉශ්රායෙල් කඳුවලට දිවැස් වැකි කියමින් මෙසේ කියන්න: සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න.</verse>
				<verse number="2">දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. ඉශ්රායෙල්ගේ සතුරෝ නුඹලා ගැන කතා කොට, ඔහෝ! පුරාණ උස් ස්ථාන අපට උරුමයක් වී තිබේ යයි කියති.</verse>
				<verse number="3">“එබැවින් නුඹ දිවැස් වැකි කියමින්, දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක කියා කියන්න. අවට ඉතිරි ව සිටින ජාතීන්ට නුඹලා උරුමයක් වන පිණිස ද විජාතීන්ගේ ඕපාදූප හා ගැරහීමට ලක් වන පිණිස ද ඔව්හු නුඹලා පාළු කර හැම අතින් ම නුඹලා සුණු විසුණු කර නුඹලාට නින්දා කළහ.</verse>
				<verse number="4">එබැවින් එම්බා ඉශ්රායෙල් කඳු! දෙවි ස්වාමීන් වහන්සේගේ වචනය අසන්න. කඳුවලටත්, හෙල්වලටත්, දෙණිවලටත්, මිටියාවත්වලටත්, අවට ඉතිරි ව සිටින ජාතීන්ට කොල්ලයක් ව කවටකමක් ව තිබෙන පාළු වූ නාස්ති වූ ඉඩම්වලටත්, ජනහීන ව තිබෙන නුවරවලටත් දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.</verse>
				<verse number="5">“එබැවින් දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ දේශය කොල්ලයක් කොට උදුරාගන්න පිණිස සිතේ මහා සතුටකින් ද ඉමහත් අහංකාරයකින් ද මාගේ දේශය තමන්ට උරුමයක් කොට නියම කරගත් ඉතිරි ව සිටින ජාතීන්ටත්, විශේෂයෙන් මුළු ඒදොම් රටටත් විරුද්ධ ව සැබෑවට ම මාගේ කෝපාග්නියෙන් මම දිවුරා කියමි.</verse>
				<verse number="6">“එබැවින් ඉශ්රායෙල් රට ගැන දිවැස් වැකි කියමින්, කඳුවලටත් හෙල්වලටත් දෙණිවලටත් මිටියාවත්වලටත් දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න, නුඹලා ජාතීන්ගෙන් වූ නින්දාව දැරූ නිසා මාගේ කෝපාග්නියෙන් ද මාගේ උදහසින් ද මම කතා කෙළෙමි.</verse>
				<verse number="7">එබැවින් දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. නුඹලා අවට සිටින ජාතීන් ම එම නින්දාව දරනු ඇත කියා දිවිරීමට මම ම මාගේ අත එසෙව්වෙමි.</verse>
				<verse number="8">“එහෙත් එම්බා ඉශ්රායෙල් කඳු! නුඹලා මත ඇති ගස්වල දලු ලියලා මාගේ සෙනඟ වන ඉශ්රායෙල් උදෙසා පල දරා දෙනු ඇත; ඔවුන් ආපසු එන්න ළඟ ය.</verse>
				<verse number="9">මම නුඹලා උදෙසා ය, නුඹලා වෙත හැරෙන්නෙමි. නුඹලා ද අස්වද්දා වපුරන්නහු ය.</verse>
				<verse number="10">මම නුඹලා පිට මනුෂ්‍යයන් එනම්, මුළු ඉශ්රායෙල් වංශය ම වැඩි වර්ධනය කරන්නෙමි. නගර ජනාකීර්ණ වනු ඇත. පාළු තැන් ද ගොඩනඟනු ලැබේ.</verse>
				<verse number="11">නුඹලාගෙන් රැකෙන මිනිසුන් ද තිරිසනුන් ද වැඩි වර්ධනය කරන්නෙමි. ඔව්හු වැඩි වී බෝවෙති. අතීතයේ දී මෙන් නුඹලාගේ නගර ජනාකීර්ණ කර පෙර කාලවලට වඩා මම නුඹලා සමෘද්ධිමත් කරන්නෙමි. එවිට නුඹලා ද මා සමිඳාණන් වහන්සේ බව දැනගනු ඇත.</verse>
				<verse number="12">එම්බා මාගේ ඉශ්රායෙල් දේශය! නුඹ තුළ මිනිසුන්, එනම් ඉශ්රායෙල් සෙනඟ සැරිසරන්නට සලස්වන්නෙමි. ඔවුන් නුඹ අයිති කරගනු ඇත. නුඹ ඔවුන්ගේ භූමිය වන්නෙහි ය. නුඹ තවත් මිනිස් දරුවන්ගෙන් හිස් වී නොසිටින්නෙහි ය.</verse>
				<verse number="13">“දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. දේශය, නුඹ මිනිසුන් කාදමා, නුඹේ සෙනඟ නැති කෙළෙහි ය කියා නුඹට කියන බැවින්,</verse>
				<verse number="14">නුඹ තවත් මිනිසුන් කාදමන්නේ වත්, නුඹේ සෙනඟ තවත් නැතිකරන්නේ වත් නැතැ යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="15">නුඹට විරුද්ධ ව විජාතීන්ගේ අපහාස කතා අසන්න මම තවත් ඉඩ නොදෙන්නෙමි. ජනයන්ගේ නින්දාව නුඹ තවත් විඳින්නේ වත් නුඹ තවත් නුඹේ ජාතිය පැකිළෙන්න සලස්වන්නේ වත් නැතැ යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”</verse>
				<verse number="16">තවද, සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාරන සේක:</verse>
				<verse number="17">“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශය තමන්ගේ රටෙහි වාසය කරද්දී ඔව්හු තමන්ගේ කල්ක්‍රියාවෙන් ද තමන්ගේ හැසිරීමෙන් ද ඒ රට අපවිත්‍ර කළෝ ය. ඔවුන්ගේ කල්ක්‍රියාව කිලි වූ ස්ත්‍රියකගේ අපවිත්‍රකම මෙන් මා ඉදිරියෙහි විය.</verse>
				<verse number="18">ඔවුන් දේශයෙහි මිනී මැරූ නිසාත්, ඔවුන් තමන්ගේ රූපවලින් එය අපවිත්‍ර කළ නිසාත් මාගේ කෝපය ඔවුන් කෙරෙහි වගුරුවා,</verse>
				<verse number="19">විජාතීන් අතරට මම ඔවුන් පන්නාදැමීමි. ඇරත් ඔව්හු දේශවල විසුරුවනු ලැබූ හ. ඔවුන්ගේ කල්ක්‍රියාවේ හැටියට ද ඔවුන්ගේ හැසිරීමේ ප්‍රකාරයට ද ඔවුන් විනිශ්චය කෙළෙමි.</verse>
				<verse number="20">ඔවුන් පැමිණි කොතැන වුවත්, ජාතීන් ළඟට ඔවුන් ගිය කල, ‘මොවුහු සමිඳාණන්ගේ සෙනඟ ය, උන් වහන්සේගේ දේශයෙන් ඔවුන්ට පිට වීමට සිදු වී ය’යි මිනිසුන් ඔවුන් ගැන කී නිසා ඔව්හු මාගේ ශුද්ධ නාමය කෙලෙසූ හ.</verse>
				<verse number="21">එහෙත්, ඉශ්රායෙල් සෙනඟ ගිය තැන්වල ජාතීන් අතරෙහි මාගේ ශුද්ධ නාමය කෙලෙසූ නිසා, මාගේ නාමය ගැන මම සැලකිලිමත් වීමි.</verse>
				<verse number="22">“එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ඉශ්රායෙල් සෙනඟට කියන්න: එම්බා ඉශ්රායෙල් ජනයෙනි! නුඹලා උදෙසා නොව, නුඹලා ගිය ගිය සෑම තැන්වල ජාතීන් අතරෙහි නුඹලා මාගේ ශුද්ධ නාමය කෙලෙසූ නිසා ඒ නාමය උදෙසා මම ක්‍රියා කරමි.</verse>
				<verse number="23">ජාතීන් අතරෙහි කෙලෙසී ඇති නුඹලා විසින් ඔවුන් අතරෙහි කෙලෙසනු ලැබූ මාගේ උදාර නාමය විශුද්ධ කරන්නෙමි. මා විශුද්ධ බව නුඹලා කරණකොටගෙන විජාතීන්ගේ ඇස් හමුයෙහි ප්‍රකාශ වන කල මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇතැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="24">එසේ ය, විජාතීන් අතරෙන් නුඹලා රැගෙන, සියලු දේශවලින් නුඹලා රැස් කර නුඹලාගේ ම රටට ගෙනෙන්නෙමි.</verse>
				<verse number="25">නුඹලා පිරිසිදු වන ලෙස මම නුඹලා කෙරෙහි පිරිසිදු දිය ඉසින්නෙමි. නුඹලාගේ සියලු අපවිත්‍රකම්වලින් ද නුඹලාගේ සියලු දේවරූපවලින් ද නුඹලා පිරිසිදු කරන්නෙමි.”</verse>
				<verse number="26">“මම අලුත් හදක් නුඹලාට දී, අලුත් සිතක් නුඹලා තුළ මවා, නුඹලාගේ මුරණ්ඩු ගල් සිත පහකොට කීකරු සිතක් නුඹලාට දෙන්නෙමි.</verse>
				<verse number="27">මාගේ ආත්මානුභාවය නුඹලා තුළ නිදන් කොට, නුඹලා මාගේ පණත් අනුව හැසිර මාගේ නියමයන් හරියාකාර ඉටු කරන්න සලස්වන්නෙමි.</verse>
				<verse number="28">මා විසින් නුඹලාගේ පියවරුන්ට දෙන ලද දේශයෙහි නුඹලා වාසය කොට මාගේ ම සෙනඟ ව සිටිනු ඇත. මම ද නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි.</verse>
				<verse number="29">මම නුඹලාගේ සියලු අපවිත්‍රකම්වලින් නුඹලා ගළවන්නෙමි. නුඹලා පිට සාගතය නොපමුණුවා, බහුල ව ධාන්‍ය උපදවා දී ඒවා වැඩි කරන්නෙමි.</verse>
				<verse number="30">නුඹලා විජාතීන් අතරෙහි සාගතයේ නින්දාව තවත් නොලබන පිණිස මම ගස්වල පල ද කෙත්වල අස්වැන්න ද වැඩි කරන්නෙමි.</verse>
				<verse number="31">නුඹලා ද නුඹලාගේ නපුරු මාර්ග සහ නුඹලාගේ අයහපත් ක්‍රියා සිහිකොට, නුඹලාගේ පව් ද නුඹලාගේ පිළිකුල් ක්‍රියා ද නිසා නුඹලා ම පිළිකුල් කරගන්නහු ය.</verse>
				<verse number="32">මා මෙසේ ක්‍රියා කරන්නේ නුඹලා නිසා නොවන බව දැනගන්නැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. එම්බා ඉශ්රායෙල් ජනයෙනි! නුඹලාගේ කල්ක්‍රියාව නිසා ලජ්ජා වී කැළෙඹන්න.”</verse>
				<verse number="33">මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “නුඹලාගේ සියලු අපරාධවලින් මා නුඹලා පිරිසිදු කරන දවසේ දී මම නගරවල මිනිසුන් ජනාකීර්ණ කරන්නෙමි. නටබුන් නගර ද ගොඩනඟනු ලබන්නේ ය.</verse>
				<verse number="34">මඟ යන සියල්ලන්ගේ ඇස් හමුයෙහි පාළුවක් ව තිබුණ දේශය අස්වද්දනු ලබන්නී ය.</verse>
				<verse number="35">මිනිසුන් ද කතා කොට, ‘පාළු වී තිබුණ දේශය ඒදන් උයන මෙන් වී තිබේ; නාස්ති ව, පාළු ව, ජරාවාස ව තිබුණු නගර බලකොටු වී වැසියන්ගෙන් ගහණ ව තිබේ ය’යි කියන්නෝ ය.</verse>
				<verse number="36">නුඹලා වටකර ඉතිරි වී ඇති ජාතීන් ද සමිඳාණන් වහන්සේ වන මා විසින් ජරාවාස වූ තැන් ගොඩනඟන්නටත්, පාළු වූ ඉඩම් වවන්නටත් සලසන ලද බව දැනගනු ඇත. සමිඳාණන් වහන්සේ වන මම එය කීවෙමි, එය ඉටු කරන්නෙමි.”</verse>
				<verse number="37">මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “මාගෙන් උපකාර ඉල්ලීමට යළිත් වරක් මම ඉශ්රායෙල් සෙනඟට ඉඩ දෙන්නෙමි. බැටළු රැළක් මෙන් ඔවුන්ගේ ගණන වැඩි කරන්නෙමි.</verse>
				<verse number="38">පූජා කිරීමට කැප කළ බැටළු රැළ මෙන්, ජෙරුසලමේ නියමිත මංගල්‍යවල දී එහි සිටින බැටළු රැළ මෙන්, පාළු නගර ජන සමූහයෙන් පිරෙනු ඇත. ඔවුන් ද මා සමිඳාණන් වහන්සේ බව දැනගනු ඇත.”</verse>
			</chapter>
			<chapter number="37">
				<verse number="1">සමිඳාණන් වහන්සේගේ හස්තය මා පිට පැමිණියේ ය. උන් වහන්සේ සිය ආත්මානුභාවයෙන් මා පිටතට පමුණුවා ඇටකටුවලින් පිරී තිබුණ මිටියාවතක් මැද මා සිටෙවු සේක.</verse>
				<verse number="2">උන් වහන්සේ මට ඒවා අතරේ ඔබමොබ යන්න සැලැසූ සේක. එවිට මිටියාවතේ ඇටකටු බහුල ව තිබෙනු මම දිටිමි. ඒවා හොඳට ම වියළී තිබුණේ ය.</verse>
				<verse number="3">උන් වහන්සේ මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, මේ ඇටකටුවලට ජීවත් විය හැකි දැ”යි මාගෙන් ඇසූ සේක. මම ද “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, එය දන්නේ ඔබ ය”යි උත්තර දිනිමි.</verse>
				<verse number="4">උන් වහන්සේ යළිත් මට කතා කොට, “නුඹ මේ ඇටකටුවලට දිවැස් වැකි පවසා, මෙසේ කියන්න: අහෝ වියළි ඇටකටු! සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න.</verse>
				<verse number="5">මේ ඇටකටුවලට මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: මෙන්න, නුඹලා ජීවත් වන පිණිස නුඹලා තුළට ජීවන හුස්ම හෙළන්නෙමි. එවිට නුඹලා ජීවත් වන්නහු ය.</verse>
				<verse number="6">මම නුඹලාට නහර දෙමි; නුඹලා පිට මාංසය හටගන්වා, නුඹලා සමින් වසා, ජීවත් වන පිණිස නුඹලා තුළ ජීවන හුස්ම හෙළන්නෙමි. එවිට නුඹලා ජීවත් වන්නහු ය. මා සමිඳාණන් වහන්සේ බව නුඹලා ද දැනගනු ඇත.”</verse>
				<verse number="7">එවිට මට අණ කළ ලෙස මම දිවැස් වැකි පැවසීමි. මා දිවැස් වැකි පවසද්දී ශබ්දයක් ද සට සට ගාන හඬක් ද ඇති වී එක එක ඇටය එකට එක එකතු විය.</verse>
				<verse number="8">මම බැලූ විට ඒවාට නහර තිබෙන බව දිටිමි. මාංසය හටගැනී ඒවා සමින් වැසුණේ ය. එහෙත්, ඒවා තුළ ජීවන හුස්ම නො වී ය.</verse>
				<verse number="9">එවිට උන් වහන්සේ මට කතා කොට, “නුඹ ජීවන හුස්මට දිවැස් වැකි පවසන්න. මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියමින් ජීවන හුස්මට කතා කොට, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක. එම්බා ජීවන හුස්ම! සතර දිග සුළඟින් අවුත් මියගිය මොවුන් ජීවත් වන පිණිස මොවුන් තුළට ජීවන හුස්ම හෙළන්න කියා කියන්නැ යි මට වදාළ සේක.”</verse>
				<verse number="10">මම ද උන් වහන්සේ මට අණ කළ පරිදි දිවැස් වැකි පැවසීමි. එවිට ජීවන හුස්ම ඔවුන් තුළට පැමිණ, ඔව්හු ජීවය ලැබ, නැඟිට, ඉතා මහත් සේනාවක් ව සිටගත්තෝ ය.</verse>
				<verse number="11">එවිට උන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, මේ ඇටකටු වනාහි මුළු ඉශ්රායෙල් වංශය ය. ‘අපේ ඇටකටු වියළී අපේ බලාපොරොත්තුව නැති වී තිබේ. අපි සහමුලින් ම සිඳ දමනු ලැබීමු’යි ඔව්හු කියති.</verse>
				<verse number="12">එබැවින් නුඹ දිවැස් වැකි පවසමින්, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි කියන්න. ‘මාගේ ජනයෙනි, මම නුඹලාගේ සොහොන් විවර කොට නුඹලාගේ සොහොන්වලින් නුඹලා නැඟුටුවා, නුඹලා ඉශ්රායෙල් රටට පමුණුවන්නෙමි.</verse>
				<verse number="13">එම්බා මාගේ සෙනඟෙනි! මා නුඹලාගේ සොහොන් විවර කොට, නුඹලාගේ සොහොන්වලින් නුඹලා නැඟිටෙව් විට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.</verse>
				<verse number="14">නුඹලා ජීවත් වන පිණිස මම නුඹලා තුළ මාගේ ආත්මානුභාවය නිදන් කර නුඹලාගේ රටෙහි නුඹලා පිහිටුවන්නෙමි.’ මෙසේ, ස්වාමීන් වන මා එසේ වදාළ බව ද එය ඉටු කළ බව ද නුඹලා දැනගන්නහු ය. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.”</verse>
				<verse number="15">නැවත සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, නුඹ ලීයක් රැගෙන</verse>
				<verse number="16">ජුදා රාජ්‍යය සහ එයට සම්බන්ධ ඉශ්රායෙල් දරුවන් ගැන ලියන්න. තව ලීයක් රැගෙන ජෝසෙප් සහ එයට සම්බන්ධ ඉශ්රායෙල් ගෝත්‍රය ගැන ඒ පිට ලියන්න.</verse>
				<verse number="17">ඉන්පසු ඒ ලී දෙක නුඹේ අතේ එක ලීයක් වන ලෙස ලී දෙක එකට සම්බන්ධ කරන්න.</verse>
				<verse number="18">නුඹේ සෙනඟ කතා කොට, ‘මෙයින් නුඹ හඟවන්නේ කිමෙක් ද කියා නුඹ අපට නොදන්වන්නෙහි දැ’යි නුඹෙන් ඇසූ විට,</verse>
				<verse number="19">නුඹ ඔවුන්ට කතා කොට, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි කියන්න. මෙන්න මම ඉශ්රායෙල් නමැති ලීය රැගෙන ජුදා නමැති ලීයට එක් කරන්නෙමි. ලී දෙකෙන් එක ලීයක් සාදා එය මාගේ අතෙන් අල්ලාගනිමි.</verse>
				<verse number="20">“නුඹ විසින් ලියන ලද ඒ ලී කෑලි දෙක ඔවුන් ඉදිරියෙහි නුඹේ අතේ තිබිය දී කතා කොට මෙසේ කියන්න.</verse>
				<verse number="21">මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ඉශ්රායෙල් සෙනඟ ගොස් සිටින තැන්වල විජාතීන් අතරෙන් මම ඔවුන් රැගෙන වටින් පිටින් ඔවුන් රැස් කොට, ඔවුන්ගේ රටට ඔවුන් පමුණුවන්නෙමි.</verse>
				<verse number="22">මම දේශයෙහි ඉශ්රායෙල් කඳු පිට ඔවුන් එක ජාතියක් කරන්නෙමි. එක රජෙක් ද ඔවුන් සියල්ලන්ට ම රජ වන්නේ ය. ඔව්හු තවත් ජාති දෙකක් නොවන්නෝ ය. තවත් රාජ්‍යයන් දෙකකට නොබෙදෙන්නෝ ය.</verse>
				<verse number="23">ඔව්හු තමන්ගේ දේව රූපවලින් වත්, තමන්ගේ පිළිකුල් ක්‍රියාවලින් වත්, තමන්ගේ සියලු ම පාප ක්‍රියාවලින් වත් තමන් කිළුටු කර නොගනිති. ඔවුන් කළ පව්වලින් මම ඔවුන් ගළවා ඔවුන් පිරිසිදු කරන්නෙමි. මෙසේ ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මම ද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි.</verse>
				<verse number="24">මාගේ සේවක දාවිත් වැනි රජෙක් ඔවුන් කෙරෙහි රජ වන්නේ ය; ඔවුන් සියල්ලන්ට ම එක එඬේරෙක් වන්නේ ය. ඔව්හු මාගේ නියෝග ලෙස හැසිර, මාගේ පණත් අනුගමනය කර ඒවා ඉටු කරන්නෝ ය.</verse>
				<verse number="25">මාගේ සේවක ජාකොබ්ට මා දුන්, නුඹලාගේ පියවරුන් වාසය කළ දේශයෙහි ඔවුන් වාසය කරනු ඇත; එසේ ඔව්හු ද ඔවුන්ගේ දරුවෝ ද ඔවුන්ගේ දරුවන්ගේ දරුවෝ ද සදාකාලයට ම එහි වාසය කරන්නෝ ය. මාගේ සේවක දාවිත් වැනි රජෙක් සදාකාලයට ම ඔවුන්ට අධිපතියා වන්නේ ය.</verse>
				<verse number="26">තවද, මම සාමදාන ගිවිසුමක් ඔවුන් සමඟ කරන්නෙමි. එය ඔවුන් සමඟ සදාකාල ගිවිසුමක් වන්නේ ය. මම ඔවුන්ට ආසිරි පතා, ඔවුන් වැඩි වර්ධනය කොට, මාගේ ශුද්ධස්ථානය ඔවුන් අතරෙහි සදාකාලයට ම පිහිටුවන්නෙමි.</verse>
				<verse number="27">මම ඔවුන් සමඟ වැඩවසන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය.</verse>
				<verse number="28">මාගේ ශුද්ධස්ථානය හැම කල්හි ම ඔවුන් අතරෙහි තිබීමෙන් මා ඉශ්රායෙල් විශුද්ධ කරන සමිඳාණන් වහන්සේ බව විජාතීන් දැනගනු ඇත.”</verse>
			</chapter>
			<chapter number="38">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“මනුෂ්‍ය පුත්‍රය, රොෂ්හි ද මෙෂෙක්හි ද තුබල්හි ද අධිපතියා වන මාගොග් දේශයේ ගොග් රජුට විරුද්ධ ව නුඹේ මුහුණ යොමු කර, ඔහුට විරුද්ධ ව දිවැස් වැකි කියමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න.</verse>
				<verse number="3">එම්බා රොෂ්හි ද මෙෂෙක්හි ද තුබල්හි ද අධිපතියා වන ගොග්, මම නුඹට විරුද්ධ වෙමි.</verse>
				<verse number="4">මම නුඹ ආපසු හරවා, නුඹේ හකුවල කොකු දමා, නුඹ සහ නුඹේ මුළු සේනාව ද අසුන් ද අසරුවන් ද පිටතට ගෙන යන්නෙමි. ඔව්හු සියල්ලෝ ම යුද ඇඳුමෙන් සැරසී, පලිස් ද කුඩා පලිස් ද ලෙළ දෙන කඩු ද අතට ගත් මහ සමූහයකි.</verse>
				<verse number="5">ඔවුන් සමඟ පාර්සිවරු ද එතියෝපිවරු ද පූට්වරු ද සිටිති. ඔවුන් සියල්ලන්ට පලිස් ද යුද්ධ තොප්පි ද තිබේ.</verse>
				<verse number="6">ගොමෙර් සහ එහි සියලු හමුදා ද උතුරේ දුර බැහැර සිටින තොගර්මා වංශය සහ එහි සියලු හමුදා ද යන බොහෝ ජනයෝ නුඹ සමඟ සිටිති.</verse>
				<verse number="7">නුඹ සූදානම් වී, එසේ ය, නුඹ වෙත රැස් ව සිටින නුඹේ සියලු සමූහයන් සමඟ සියල්ල සූදානම් කරගෙන, ඔවුන්ගේ ආරක්ෂකයා වන්න.</verse>
				<verse number="8">බොහෝ දවස් ගත වූ පසු, මතු අවුරුදුවල නුඹ යුද්ධයෙන් දිනාගත් මේ දේශයට විරුද්ධ ව සටන් කරනු ඇත. බොහෝ කාලයක් පාළු ව තිබුණ ඉශ්රායෙල් කඳුවලට ඔවුන් මරණයෙන් බේරී, නොයෙක් දේශවලින් එක්රැස් කරනු ලැබූ බැවින්, එහි වැසියෝ සෙසු සියලු සෙනඟගෙන් ඈත් වී හිරිහැරයක් නැති ව විසුවෝ වෙති.</verse>
				<verse number="9">එවිට නුඹ කුණාටුවක් මෙන් ඉදිරියට පැමිණෙනු ඇත. නුඹ සහ නුඹ සමඟ නුඹේ සියලු හමුදාවන් ද බොහෝ ජනයන් ද වලාකුළකින් මෙන් දේශය වසාගනු ඇත.”</verse>
				<verse number="10">මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ගොග් රජුට මෙසේ වදාරන සේක: “ඒ කාලයෙහි නුඹේ සිතට පහළ වූ අදහසින් නුඹ නපුරු ක්‍රම යොදාගත්තෙහි ය.</verse>
				<verse number="11">නුඹ කතා කොට, මම පවුරු රහිත ගම් ඇති දේශයට විරුද්ධ ව නැඟී ගොස්, සාමකාමී ව කරදර රහිත ව වාසය කරන අයට විරුද්ධ ව පැමිණෙන්නෙමි. ඔව්හු සියල්ලෝ ම පවුරු නැති ව වාසය කරති. ඔවුන්ට අගුල් ද දොරවල් ද නැතැ යි කියනු ඇත.</verse>
				<verse number="12">නුඹ එසේ පැමිණෙන්නේ කොල්ලකෑමටත්, සම්පත් උදුරාගැනීමටත් මිනිසුන් වාසය කරන පාළු ව තිබුණු ස්ථානවලට ද විජාතීන් අතරෙන් අවුත් සිටින සිව්පාවුන් සහ සම්පත් ලබාගෙන පොළොවේ මැද ස්ථානයෙහි වාසය කරන සෙනඟට ද විරුද්ධ ව නුඹේ අත ඔසවනු පිණිස ය.</verse>
				<verse number="13">ෂෙබාවරු සහ දෙදාන්වරු ද තර්ෂිෂ්හි වෙළෙන්දෝ ද එහි අධිපතියෝ ද නුඹට කතා කොට, ‘නුඹ කොල්ලකන්න පැමිණියෙහි ද? නුඹේ සේනාව නුඹ රැස් කරගන්නේ සම්පත් උදුරා ගනිමින්, රන් රිදී රැගෙන, සිව්පාවුන් ද සම්පත් ද අල්ලා, බොහෝ කොල්ල ලබා යන පිණිස දැ’යි අසන්නෝ ය.</verse>
				<verse number="14">“එබැවින් මනුෂ්‍ය පුත්‍රය, නුඹ දිවැස් වැකි පවසමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ගොග් රජුට කියන්න. ‘මාගේ සෙනඟ වන ඉශ්රායෙල් සෙනඟ සුරැකි ව වාසය කරන කාලයේ දී නුඹ ඉදිරියට යන්නෙහි ය.</verse>
				<verse number="15">ඈත උතුරේ නුඹලාගේ වාසස්ථාන අත්හැරදමා නුඹ සහ නුඹ සමඟ බොහෝ ජාතීන් සියල්ලක් ම අසුන් පිට නැඟී මහා සමූහයක් ව, බලවත් සේනාවක් ව එනු ඇත.</verse>
				<verse number="16">නුඹ, දේශය වසාගන්න වලාකුළක් මෙන් මාගේ සෙනඟ වන ඉශ්රායෙල්ට විරුද්ධ ව නැඟී එනු ඇත. එය මතු දවස්වල දී සිදු වන්නේ ය. එම්බා ගොග් රජ! මා ශුද්ධ බව නුඹ කරණකොටගෙන විජාතීන්ගේ ඇස්වලට පෙනෙන කල ඔවුන් මා ඇඳිනගන්න පිණිස මම නුඹ, මාගේ දේශයට විරුද්ධ ව පමුණුවන්නෙමි.’</verse>
				<verse number="17">මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව නුඹ පමුණුවන්නෙමි යි පෙර කාලයේ දිවැස් වැකි කී මාගේ දාසයන් වූ ඉශ්රායෙල් දිවැසිවරුන් මඟින් මා ඒ දවස්වල කීවේ නුඹ ගැන නොවේ ද?’ “</verse>
				<verse number="18">මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “ගොග් රජ ඉශ්රායෙල් රටට විරුද්ධ ව එන ඒ කාලයේ දී මාගේ උදහස දැල්වෙනු ඇත.</verse>
				<verse number="19">මන්ද, මාගේ උදහසින් ද මාගේ කෝපාග්නියෙන් ද මෙසේ කියමි. සැබැවින් ම ඒ කාලයේ දී ඉශ්රායෙල් රටෙහි මහා කම්පාවක් ඇති වන්නේ ය.</verse>
				<verse number="20">මුහුදේ මත්ස්‍යයෝ ද ආකාශයේ පක්ෂීහු ද වනයේ මෘගයෝ ද භූමියෙහි බඩගාන සියලු ම සත්ත්වයෝ ද භූමිය මතුපිට සිටින සියලු මනුෂ්‍යයෝ ද මා ඉදිරියෙහි වෙවුළන්නෝ ය. කඳු හෙළා දමනු ලබන්නටත්, උස් තැන් වැටෙන්නටත්, සියලු පවුරු බිම වැටෙන්නටත් යෙදෙනු ඇත.</verse>
				<verse number="21">නොයෙක් ආපදාවන් ඇති කර මම ගොග් රජු භීතියට පත් කරන්නෙමි. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. එක එක මිනිසාගේ කඩුව ඔහුගේ සහෝදරයාට විරුද්ධ ව ලෙළ දෙනු ඇත.</verse>
				<verse number="22">මම වසංගතයෙන් ද ලේ වැගිරීමෙන් ද ඔහුට දඬුවම් කරන්නෙමි. ඔහු සහ ඔහුගේ හමුදාවන් ද ඔහු සමඟ සිටින බොහෝ ජාතීන් ද පිට මොරසූරන වැහි ද මහා ගල් වර්ෂාවක් ද ගිනි ද ගෙන්දගම් ද වස්වන්නෙමි.</verse>
				<verse number="23">මෙසේ මම ශ්‍රේෂ්ඨත්වය ද විශුද්ධත්වය ද පෙන්වා, මා සමිඳාණන් වහන්සේ බව බොහෝ විජාතීන් දැනගන්න පිණිස ඔවුන් ඉදිරියෙහි ප්‍රකාශ වන්නෙමි.”</verse>
			</chapter>
			<chapter number="39">
				<verse number="1">මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාළ සේක: “තවද, මනුෂ්‍ය පුත්‍රය, නුඹ ගොග් රජුට විරුද්ධ ව දිවැස් වැකි පවසමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න. ‘බලන්න, රොෂ්හි ද මෙෂෙක්හි ද තුබල්හි ද අධිපතියා වන ගොග් රජු වන නුඹට මම විරුද්ධ ව සිටිමි.</verse>
				<verse number="2">මම නුඹ අන් දෙසකට හරවා, නුඹ ඉදිරියට ගෙන ගොස් උතුරේ දුරස්ථානවලින් නුඹ ගෙනවුත් ඉශ්රායෙල් කඳු පිටට නුඹ පමුණුවන්නෙමි.</verse>
				<verse number="3">නුඹේ දුන්න නුඹේ වමතින් ගසාදමා, නුඹේ ඊගස් නුඹේ දකුණතින් වැටෙන්නට සලස්වන්නෙමි.</verse>
				<verse number="4">ඉශ්රායෙල් කඳුවල නුඹ සහ නුඹේ සියලු හමුදා ද නුඹ සමඟ සිටින ජනයන් ද වැටෙනු ඇත. සියලු ආකාර ගොදුරුවලට ගිජු පක්ෂීන්ටත්, වනයේ මෘගයන්ටත් නුඹ ගොදුරු පිණිස දෙන්නෙමි.</verse>
				<verse number="5">නුඹ පොළොව මතුපිට වැටෙනු ඇත. මන්ද, මම එය කීයෙමි’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="6">මම මාගොග් පිටත්, මුහුදුබඩ සුරැකි ව වාසය කරන්නන් පිටත් ගින්නක් යවන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.</verse>
				<verse number="7">මාගේ ශුද්ධ නාමය තවත් කෙලෙසන්න ඉඩනෑර, මම මාගේ ශුද්ධ නාමය මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් අතරෙහි ප්‍රකාශ කරන්නෙමි. විජාතීන් ද සමිඳාණන් වහන්සේ වන මා ඉශ්රායෙල්වරුන් අතරෙහි ශුද්ධ ව සිටින බව දැනගනු ඇත.”</verse>
				<verse number="8">මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. “බලන්න, මා කී දවස! එය පැමිණෙයි. එය සිදු වේ ම ය.</verse>
				<verse number="9">එවිට ඉශ්රායෙල් නගරවල වැසියෝ පිටතට ගොස්, ගිනි අවුළුවා, ආයුධ වන පලිස් ද මහ පලිස් ද දුනු ද ඊගස් ද මුගුරු ද හෙල්ල ද දවන්නෝ ය. සත් අවුරුද්දක් ඒවායින් ගිනි දැල්වෙනු ඇත.</verse>
				<verse number="10">ඔවුන් වනයෙන් දර ගෙනෙන්නේ වත්, මූකළාන්වලින් ඒවා කපාගන්නේ වත් නැත. මන්ද, ඔව්හු ආයුධවලින් ගිනි දල්වන්නෝ ය. තමන්ගෙන් කොල්ල කෑ අයගෙන් ඔව්හු කොල්ලකන්නෝ ය. තමන්ගේ සම්පත් උදුරාගත් අයගෙන් සම්පත් උදුරාගන්නෝ ය. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”</verse>
				<verse number="11">“තවද, ඒ කාලයේ දී මම මිනී වැළලීමට ඉශ්රායෙල් දේශයෙන් ඉඩමක් ගොග්ට දෙන්නෙමි. එය මුහුදට නැගෙනහිරෙන් තිබෙන සංචාරකයන්ගේ මිටියාවත ය. එය එහි ගමන් කරන්නන් වළක්වනු ඇත. එහි ගොග් සහ ඔහුගේ මුළු සමූහය වළලනු ලැබ, ඊට ගොග්සමූහ-මිටියාවත යන අරුත ඇති හාමොන්ගොග් යයි නම් තබනු ලැබේ.</verse>
				<verse number="12">ඉශ්රායෙල් සෙනඟ සිය දේශය පිරිසිදු කරන පිණිස සත් මසක් ඔවුන් වළලමින් සිටින්නෝ ය.</verse>
				<verse number="13">එසේය, දේශයේ සියලු සෙනඟ ඔවුන් වළලන්නෝ ය. එය වූ කලී මාගේ මහිමය ප්‍රකාශ වන සමයේ දී ඔවුන්ට කීර්තියක් වන්නේ යයි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="14">තවද, ඔව්හු දේශය පිරිසිදු කිරීමට එය මුළුල්ලෙහි ඇවිදිමින් දේශය මතුපිට ඉතුරු වන අය වැළලීමෙහි නිතර ම යෙදී සිටීමට මිනිසුන් තෝරාගනිති. ඔව්හු සත් මසකට පසු එසේ සොයා ඇවිදින්නෝ ය.</verse>
				<verse number="15">දේශයෙහි එසේ ඇවිදින්නන්ගෙන් යමෙක් මිනී ඇට දුටු විට, වළලන්නන් ඒක හාමොන්ගොග්හි වළලන තෙක් ඒ ළඟ ලකුණක් තබන්නෝ ය.</verse>
				<verse number="16">තවද, නුවරෙහි නමත් ‘සමූහයක්’ යන අරුත ඇති ‘හාමොනා’ වන්නේ ය. මෙසේ ඔවුන් දේශය පිරිසිදු කරනු ඇත.</verse>
				<verse number="17">“මනුෂ්‍ය පුත්‍රය, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. නුඹ සියලු ආකාර පක්ෂීන්ට ද වනයේ සියලු මෘගයන්ට ද කතා කොට, තෙපි රැස් වී වරෙන්න, මා ඉශ්රායෙල් කඳු පිට තොප උදෙසා සූදානම් කරන මහා පූජාවක් වන මාගේ පූජාව වටා හාත්පසින් එකතු වී, මස් කා ලේ බොන්න.</verse>
				<verse number="18">තෙපි බලවතුන්ගේ මාංස කන්නහු ය. පොළොවේ අධිපතීන්ගේ ද බැටළුවන්ගේ ද බැටළු පැටවුන්ගේ ද එළුවන්ගේ ද ගවයන්ගේ ද ලේ බොන්නහු ය. උන් සියල්ලෝ ම බාෂාන්හි තර සත්තු ය.</verse>
				<verse number="19">මා තොප උදෙසා සූදානම් කර තිබෙන මාගේ පූජාවෙන් තෙපි තෘප්තිමත් ලෙස තෙල කන්නහු ය. මත් වන තුරු ලේ ද බොන්නහු ය,</verse>
				<verse number="20">මාගේ මේසය ළඟ තෙපි අශ්වයන්ගේ ද අසරුවන්ගේ ද බලවතුන්ගේ ද සියලු යුද්ධ භටයන්ගේ ද මාංස අනුභව කොට තෘප්තියට පැමිණෙන්නහු ය. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”</verse>
				<verse number="21">සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මම ද මාගේ තේජස විජාතීන් අතරෙහි පෙන්වන්නෙමි. සියලු විජාතීහු මා ඉටු කළ මාගේ විනිශ්චය සහ මා ඔවුන් කෙරෙහි දිගු කළ මාගේ බලවත් හස්තය දකින්නෝ ය.</verse>
				<verse number="22">ඉශ්රායෙල් සෙනඟ ද මා ඔවුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ බව ඒ දවසේ පටන් සදහට ම දැනගන සිටිනු ඇත.</verse>
				<verse number="23">තවද, ඉශ්රායෙල් සෙනඟ විප්‍රවාසගත වූයේ, ඔවුන්ගේ පාප ක්‍රියා නිසා බව සෑම ජාතීන් දැනගනු ඇත. මන්ද, ඔව්හු මට විරුද්ධ ව ද්‍රෝහිකම් කළෝ ය. මම ද මාගේ මුහුණ ඔවුන් වෙතින් හරවාගෙන, ඔවුන්ගේ එදිරිකාරයන්ගේ අතට ඔවුන් පාවා දුන්නෙමි. ඔව්හු සියල්ලෝ කඩු පහරින් නැසුණෝ ය.</verse>
				<verse number="24">ඔවුන්ගේ අපවිත්‍රකමේ සහ ඔවුන්ගේ වරදේ හැටියට මම ඔවුන්ට දඬුවම් කර, මාගේ මුහුණ ඔවුන් වෙතින් හරවාගතිමි.</verse>
				<verse number="25">“එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. දැන් මම ජාකොබ්ගේ වංශයේ හිරකරුවන් ආපසු ගෙනෙන්න යන්නෙමි. මුළු ඉශ්රායෙල් සෙනඟට අනුකම්පා කරමි; මාගේ සුවිශුද්ධ නාමය ආරක්ෂා කරන්නෙමි.</verse>
				<verse number="26">මා ජනයන් අතරෙන් ඔවුන් නැවත ගෙනවුත්, ඔවුන්ගේ සතුරන්ගේ දේශවලින් ඔවුන් රැස් කොට, මා සුවිශුද්ධ බව ඔවුන් කරණකොටගෙන බොහෝ විජාතීන් ඉදිරියෙහි ඔප්පු වූ විට,</verse>
				<verse number="27">ඔවුන් කිසිවෙකුට බිය නොවී, තමන්ගේ රටෙහි සුව සේ වාසය කරන විට, ඔවුන් තමන්ගේ ලජ්ජාවත්, ඔවුන් මට විරුද්ධ ව කළ තමන්ගේ සියලු ද්‍රෝහිකමත් අමතක කරනු ඇත.</verse>
				<verse number="28">ඔවුන් විප්‍රවාසීන් මෙන් විජාතීන් අතර විසුරුවා, මා ඔවුන්ගෙන් කිසිවෙකු තවත් එහි අත්නෑර ඔවුන්ගේ රටට ඔවුන් රැස් කරන කල මා ඔවුන්ගේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.</verse>
				<verse number="29">මා මාගේ ආත්මානුභාවය ඉශ්රායෙල් සෙනඟ මත වැගිරෙවූ විට මාගේ මුහුණ තවත් ඔවුන්ගෙන් සඟවා නොගන්නෙමි. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”</verse>
			</chapter>
			<chapter number="40">
				<verse number="1">නගරය සතුරන්ට අසු වීමෙන් පසු, දසසතර වන අවුරුද්දේ අප විප්‍රවාසයට ගෙන ගොස් විසිපස් වන වසර පටන්ගැන්මේ දී මාසයේ දස වන දින සමිඳාණන් වහන්සේගේ බලය මා පිට පැමිණියේ ය.</verse>
				<verse number="2">දෙවියන් වහන්සේගේ දර්ශන මඟින් ඉශ්රායෙල් දේශයට මා පමුණුවා, ඉතා උස් වූ කන්දක් මත මා සිටෙවූ සේක. ඒ කන්ද පිට නුවරක් වැනි නිර්මාණයක් මා ඉදිරියෙහි තිබිණි.</verse>
				<verse number="3">උන් වහන්සේ මා එතැනට පැමිණෙවූ විට, ලෝකඩ නිර්මාණයක් වැනි පෙනීමක් ඇති මිනිසෙකු තමාගේ අතේ හණ ලණුවක් ද මනින දණ්ඩක් ද ඇති ව දොරටුව ළඟ සිටිනු දිටිමි.</verse>
				<verse number="4">ඒ මිනිසා මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, නුඹේ නෙත්වලින් බලා, කන්වලින් අසා මා නුඹට පෙන්වන සියල්ල දෙස නුඹේ සිත යොමු කරන්න. මන්ද, නුඹ මේ ස්ථානයට පමුණුවනු ලැබුවේ ඒවා නුඹට පෙන්වන පිණිස ය. නුඹ දකින සියල්ල ඉශ්රායෙල් සෙනඟට දන්වන්නැ”යි කීවේ ය.</verse>
				<verse number="5">දේව මාලිගාව පිහිටි භූමියට පිටින් වටේට තාප්පයක් තිබුණේ ය. ඒ මිනිසාගේ අතේ මීටර් තුනක් දිග ඇති මිණුම් දණ්ඩක් විය. මීටර් භාගයක දිග රියනකුත් වියතකි. එවිට ඔහු තාප්පේ පළලත් දිගත් මැන්නේ ය. එහි පළල මීටර් තුනක් ය. උසත් මීටර් තුනකි.</verse>
				<verse number="6">ඔහු නැගෙනහිර දෙසට තිබෙන දොරටුවට අවුත්, එහි පඩිවලින් නැඟී එළිපත්ත මැන්නේ ය. එය මීටර් තුනක් උස ය.</verse>
				<verse number="7">එහි එක එක මුර කාමරයේ දිග මීටර් තුනකි. පළලත් මීටර් තුනකි. මුර කාමර අතර පරතරය මීටර් දෙකහමාරකි. දොරටුවේ ඇතුළු පැත්තේ එළිපත්තේ සිට ප්‍රවේශ ශාලාවේ දිග මීටර් තුනකි.</verse>
				<verse number="8">ඉන්පසු ඔහු ප්‍රවේශ ශාලාව මැන්නේ ය. එය මීටර් හතරකි.</verse>
				<verse number="9">එහි උළුවහු කණුවල උස මීටර් එකකි. ප්‍රවේශ ශාලාව දේව මාලිගාව දෙසට තිබුණේ ය.</verse>
				<verse number="10">නැගෙනහිරට තිබුණු දොරටුවේ එක පැත්තක කුඩා මුර කාමර තුනක් ද අනෙක් පැත්තේ තුනක් ද තිබුණේ ය. ඒ කාමර එක ප්‍රමාණයට සාදා තිබිණි.</verse>
				<verse number="11">ඔහු දොරකඩ පළලත් මැන්නේ ය. එය මීටර් පහකි. දොරටුවේ දිග මීටර් හයහමාරකි.</verse>
				<verse number="12">මුර කාමරය ඉදිරිපිට මීටර් භාගයක ගරාදි වැටක් තිබුණේ ය. අනික් පැත්තේ ද මීටර් භාගයක් දිග ගරාදි වැටක් තිබුණේ ය. මුර කාමරයක එක පැත්තක් මීටර් තුනක් ද අනික් පැත්ත මීටර් තුනක් ද බැගින් විය.</verse>
				<verse number="13">ඔහු එක කාමරයක පියස්සේ සිට අනික් කාමරයේ පියස්ස දක්වා දොරටුව මැන්නේ ය. එක දොරකඩක සිට අනික් දොරකඩ දක්වා දුර මීටර් දෙකහමාරකි.</verse>
				<verse number="14">ඔහු ප්‍රවේශ ශාලාව මැන්නේ ය. එය මීටර් දහයකි. ප්‍රවේශ ශාලාව වටේට මළුව තිබුණේ ය.</verse>
				<verse number="15">ඇතුළු වන දොරටුවේ ඉස්සරහ පැත්තේ සිට ඇතුළු ප්‍රවේශ ශාලාවේ ඉස්සරහ පැත්ත දක්වා මීටර් විසිපහකි.</verse>
				<verse number="16">ඒ කුඩා මුර කාමරවලටත්, ඒවායේ කණුවලටත් ප්‍රවේශ ශාලාවේ ඇතුළු පැත්තේ වටේට පටු කවුළු තිබුණේ ය. කණුවල තල් ගස් කැටයම් කර තිබුණේ ය.</verse>
				<verse number="17">එවිට ඔහු පිට මළුවට මා ගෙනාවේ ය. ඒ මළුවේ කාමර සහ ඒවා වටකර ගල් ඇල්ලූ වේදිකාවක් තිබුණේ ය. ඒ ගල් බිම පිට කාමර තිහක් තිබුණේ ය.</verse>
				<verse number="18">දොරටු පැත්තට තිබුණු කවුළුවල දිග ගල් බිමේ ප්‍රමාණයට තිබුණේ ය. එය පහළ ගල් වේදිකාව ය.</verse>
				<verse number="19">ඔහු ද පහළ දොරටුවේ ඉස්සරහ පැත්තේ සිට ඇතුළු මළුවේ ඉස්සරහ පැත්ත දක්වා පිටතින් පළල මැන්නේ ය. නැගෙනහිරටත්, උතුරටත් මීටර් පණහක් තිබුණේ ය.</verse>
				<verse number="20">ඔහු මා ඉදිරියෙන් උතුරට ගමන් ගත්තේ ය. එහි උතුරු දෙසට හැරුණු දොරටුවක් තිබිණි. උතුරට තිබුණු පිට මළුවේ දොරටුවේ දිගත් පළලත් ඔහු මැන්නේ ය.</verse>
				<verse number="21">එහි එක පැත්තක මුර ගෙවල් තුනක් ද අනික් පැත්තෙහි තුනක් ද තිබුණේ ය. එහි කණු ද එහි ශාලා ද පළමු වන දොරටුවේ මිම්මේ ප්‍රකාරයට තිබුණේ ය. එහි දිග මීටර් විසිපහක් ය. එහි පළල මීටර් දොළහමාරක් ය.</verse>
				<verse number="22">එහි කවුළු ද එහි ශාලා ද තල් ගස් ද නැගෙනහිරට තිබුණු දොරටුවේ මිම්මේ ප්‍රකාරයට තිබුණේ ය. එයට නඟින්නට පඩි සතක් විය. එහි ශාලා ද ඒවා ඉදිරිපිට තිබුණේ ය.</verse>
				<verse number="23">නැගෙනහිරට මෙන් ම උතුරු දොරටුවට ඉදිරිපිටින් ඇතුළු මළුවට දොරටුවක් තිබුණේ ය. ඔහු දොරටුවෙන් දොරටුවට මැන්නේ ය. එය මීටර් පණහක් විය.</verse>
				<verse number="24">ඔහු දකුණු පැත්තටත් මා ගෙන ගියේ ය. දකුණු දෙසටත් දොරටුවක් තිබුණේ ය. එහි කණු ද එහි ශාලා ද මැන්නේ ය. ඒවා පෙර ගොඩනැඟිලිවල මිම්මට සමාන ය.</verse>
				<verse number="25">ඒ කවුළු මෙන් ම වටකර මෙයටත්, මෙහි ශාලාවලටත් කවුළු තිබිණි. ඒවායේ දිග මීටර් විසිපහකි. පළල මීටර් දොළහමාරකි.</verse>
				<verse number="26">එයට නඟින්නට පඩි සතක් තිබිණි. එහි ශාලා ද ඒවා ඉදිරිපිට තිබිණි. එක පැත්තක එකක් ද අනික් පැත්තෙහි එකක් ද බැගින් එහි කණුවල තල් ගස් කැටයම් කර තිබුණේ ය.</verse>
				<verse number="27">ඇතුළු මළුවටත් දකුණු දෙසට දොරටුවක් තිබිණි. ඔහු දකුණු දෙසට දොරටුවෙන් දොරටුවට මැන්නේ ය. එය මීටර් පණහකි.</verse>
				<verse number="28">ඔහු දකුණු දොරටුවෙන් ඇතුළු මළුවට මා පැමිණවී ය. ඔහු දකුණු දොරටුව මැන්නේ ය. දකුණු දොරටුව පෙර දොරටුව ප්‍රමාණයට තිබිණි.</verse>
				<verse number="29">එහි මුරගෙවල් ද එහි කණු ද එහි ශාලා ද ඒ මිමිවල ප්‍රකාරයට තිබුණේ ය. වටකර ම එයටත් එහි ශාලාවලටත් කවුළු තිබුණේ ය. එහි දිග මීටර් විසිපහක් ය, පළල මීටර් දොළහමාරකි;</verse>
				<verse number="30">වටකර ම ශාලා තිබිණි. ඒවායේ දිග මීටර් විසිපහකි. පළල මීටර් දොළහමාරකි.</verse>
				<verse number="31">එහි ශාලා පිට මළුව දෙසට තිබිණි. එහි කණුවලට තල් ගස් ද එයට නඟින්නට පඩි අටක් ද තිබිණි.</verse>
				<verse number="32">එවිට නැගෙනහිර මාර්ගයෙන් ඔහු ඇතුළු මළුවට මා පමුණුවා දොරටුව මැන්නේ ය. එය ද පෙර දොරටුවල ප්‍රමාණයට තිබිණි.</verse>
				<verse number="33">එහි මුර ගෙවල් ද එහි කණු ද ශාලා ද පෙර ගොඩනැඟිලි ප්‍රමාණයට තිබිණි. එයටත්, එහි ශාලාවලටත් වටකර කවුළු තිබිණි. ඒවායේ දිග මීටර් විසිපහක් ය. පළල මීටර් දොළහමාරකි.</verse>
				<verse number="34">එහි ශාලා පිට මළුව දෙසට තිබිණි. එහි කණුවල දෙපැත්තෙහි තල් ගස් ද එයට නඟින්නට පඩි අටක් ද විය.</verse>
				<verse number="35">ඔහු උතුරු දොරටුවට මා පමුණුවා එය මැන්නේ ය. එය ද පෙර දොරටුවල ප්‍රමාණයට තිබිණි.</verse>
				<verse number="36">එය සහ එහි මුර ගෙවල් ද එහි කණු ද එහි ශාලා ද මැන්නේ ය. වටකර ඊට කවුළු තිබිණි. ඒවායේ දිග මීටර් විසිපහක් ය, පළල මීටර් දොළහමාරකි.</verse>
				<verse number="37">එහි ශාලා පිට මළුව දෙසට තිබිණි. එහි කණුවල දෙපැත්තෙහි තල් ගස් ද ඒකට නඟින්නට පඩි අටක් ද විය.</verse>
				<verse number="38">ප්‍රවේශ ශාලාවේ කණු ළඟ කාමරයක් ද එහි දොරකඩක් ද තිබුණේ ය. එය තිබුණේ එහි දවන පූජාව සෝදන පිණිස ය.</verse>
				<verse number="39">දොරටුවේ ශාලාවේ එක පැත්තක මේස දෙකක් ද අනික් පැත්තෙහි මේස දෙකක් ද තිබිණි. ඒවා තිබුණේ ඒ මත දවන පූජාව ද පාප පූජාව ද අපරාධ පූජාව ද සඳහා සතුන් මරණ පිණිස ය.</verse>
				<verse number="40">උතුරු දොරකඩට නඟින තැන, මළුවෙහි එක පැත්තක මේස දෙකක් ද අනික් පැත්තේ මේස දෙකක් ද තිබිණි.</verse>
				<verse number="41">දොරටුවේ එක පැත්තක මේස හතරක් ද අනික් පැත්තේ මේස හතරක් ද බැගින් මේස අටක් විය. මේ මේස යාග සතුන්ගේ මාංස තබන පිණිස ය.</verse>
				<verse number="42">සෙන්ටිමීටර් හැත්තෑපහක් දිග ද සෙන්ටිමීටර් හැත්තෑපහක් පළල ද සෙන්ටිමීටර් පණහක් උස ද ඇති කැපූ ගල් මේස හතරකුත් තිබිණි. ඒවා තිබුණේ ඒ මත දවන පූජා ද වෙනත් පූජා ද සඳහා යාග සතුන් මරන්න පාවිච්චි කරන ආයුධ තැබීමට ය.</verse>
				<verse number="43">ශාලාව ඇතුළේ වටේට අල්ලක පළල ඇති කොකු සවිකර තිබිණි. පූජා මාංස තබන පිණිස මේස තිබිණි.</verse>
				<verse number="44">ඉක්බිති ඔහු මා පිටතින් ඇතුළු මළුවට කැඳෙව්වේ ය; ඇතුළු දොරටුවට පිටතින් උතුරු දිග දොර ළඟ ඇතුළු මළුවේ ගී ගයන්නන්ගේ කාමර දෙකක් තිබුණේ ය. ඒවා එකක් දකුණු දෙසට විය. අනික පෙරදිග දොර ළඟ උතුරු දිගට විය.</verse>
				<verse number="45">ඔහු ද, “ඉස්සරහ පැත්ත දකුණු දෙසට තිබෙන මේ කාමරය ගෘහයේ සේවය පවත්වන පූජකයන්ටත්</verse>
				<verse number="46">ඉස්සරහ පැත්ත උතුරු දෙසට තිබෙන, කාමරය පූජාසනයේ සේවය පවත්වන පූජකයන්ටත් ය. ඔව්හු වනාහි සමිඳාණන් වහන්සේට සේවය කරන්න උන් වහන්සේ ළඟට යන්ටත් ය. ඔව්හු වනාහි සමිඳාණන් වහන්සේට සේවය කරන්න උන් වහන්සේ ළඟට පැමිණෙන ලෙවීගේ පුත්‍රයන්ගෙන් වූ ශාදොක්ගේ පුත්‍රයෝ ය”යි මට කී ය.</verse>
				<verse number="47">එවිට ඔහු මළුව මැන්නේ ය. දිග මීටර් පණහක් ය, පළල මීටර් පණහක් ය. එය හරි හතරැස් ව තිබුණේ ය. පූජාසනය ගෘහයට ඉදිරිපිටින් තිබුණේ ය.</verse>
				<verse number="48">ඔහු දේව මාලිගාවේ ශාලාවට මා පමුණුවා, ශාලාවේ කණු එක එක මැන්නේ ය. එක පැත්තක් මීටර් දෙකහමාරක් බැගින් විය. දොරටුවේ පළල මීටර් හතක් විය. දොරටුවේ පැති මීටර් එකහමාරක් බැගින් විය.</verse>
				<verse number="49">ශාලාවේ දිග මීටර් දහයකි. පළල මීටර් හයකි. ඊට නඟින්න පඩි දහයක් තිබිණි. කුළුණුවලට කණු එක පැත්තක එකක් ද අනික් පැත්තෙහි එකක් ද බැගින් තිබුණේ ය.</verse>
			</chapter>
			<chapter number="41">
				<verse number="1">එවිට ඔහු දේව මාලිගාවට මා ගෙනවුත් එහි කණු මැන්නේ ය. ඒවා එක පැත්තක් මීටර් තුනක් පළලට ද අනික් පැත්ත මීටර් තුනක් පළලට ද තිබුණේ ය. එය කූඩාරමේ පළල ය.</verse>
				<verse number="2">දොරකඩ පළල මීටර් පහක් විය. දොරකඩ එක පැත්තක කණු මීටර් දෙකහමාරක් පළල ය. ඔහු මාලිගාව මැන්නේ ය. එහි දිග මීටර් විස්සකි, පළල මීටර් දහයක් ය.</verse>
				<verse number="3">එවිට ඔහු ඇතුළට ගොස් දොරකඩ එක එක කණුව මැන්නේ ය. එය මීටර් එකක් ය. දොරකඩ දිග මීටර් තුනක් ය, දොරකඩ පළල මීටර් තුනහමාරක් ය.</verse>
				<verse number="4">ඔහු මාලිගාවට ඉදිරිපිටින් එහි දිගට මීටර් දහයක් ද පළලට මීටර් දහයක් ද මැන, ‘මෙය අතිශුද්ධස්ථානය’යි මට කීවේ ය.</verse>
				<verse number="5">ඔහු මාලිගාවේ බිත්තියත් මැන්නේ ය. එය මීටර් තුනක් ය, වටකර ම මාලිගාවට තිබුණු කාමරවල පළල මීටර් දෙකක් ය.</verse>
				<verse number="6">ඒ කාමර එක පිට එක උඩින් මහල් තුනක් ද එක එක පේළියේ කාමර තිහක් ද බැගින් තිබිණි. කාමර වනාහි මාලිගාවේ බිත්තියට වද්දන්නේ නැති ව ඒවා පිහිටුවීමට වටකර කුළුණු සිටුවා තිබිණි.</verse>
				<verse number="7">මහලෙන් මහලට නඟින විට ඒ ඒ පේළියේ කාමර වටකරින් වඩා පළල් ව තිබිණි. මන්ද මාලිගාව වටේට ම ඉහළින් ඉහළට කාමරවලින් වටවී තිබිණි. එබැවින් මාලිගාවේ පළල ඉහළින් වැඩි වී තිබිණි. එසේ යට තට්ටුවේ සිට මැද තට්ටුව මැදින් ඉහළ තට්ටුවට මාලිගාවේ පැත්තක පිහිටි පඩි පෙළින් නඟින්න හැකි විය.</verse>
				<verse number="8">මාලිගාව වටකර උස් වූ වේදිකාවක් දිටිමි. කාමරවල අත්තිවාරම සම්පූර්ණ මීටර් තුනකින් යුත් ලී දණ්ඩකි.</verse>
				<verse number="9">පිට පැත්ත දක්වා කාමරවලට තිබුණු බිත්තියේ පළල මීටර් දෙකහමාරක් ය. ගෘහයට තිබුණු කාමර පේළි ඇතුළේ හිස් බිමක් තිබිණි.</verse>
				<verse number="10">ඒවාටත්, මළුවේ කාමරවලටත් අතරේ ගෘහය වටකරින් ම මීටර් දහයක් පළල ඇති බිමක් තිබිණි.</verse>
				<verse number="11">කාමරවල දොරකඩ හිස් බිම දෙසට තිබුණේ ය. එක දොරකඩක් උතුරු දෙසටත්, එක දොරකඩක් දකුණු දෙසටත් තිබිණි. හිස් බිමේ පළල වටකර මීටර් දෙකහමාරක් ය.</verse>
				<verse number="12">බස්නාහිර පැත්තෙහි වෙන් වූ මළුවෙහි මිදුල ඉදිරිපිට තිබුණු ගොඩනැඟිල්ලේ දිග මීටර් හතළිස්පහක් ය, පළල මීටර් තිස්පහක් ය. ඒ ගොඩනැඟිල්ලේ බිත්තියේ පළල වටකර මීටර් දෙකහමාරක් ය.</verse>
				<verse number="13">ඔහු මාලිගාවත් මැන්නේ ය. එහි දිග මීටර් පණහක් ය, වෙන් වූ මළුවේ ද එහි තිබුණු ගොඩනැඟිල්ලේ ද එහි බිත්තිවල ද දිග මීටර් පණහක් ය.</verse>
				<verse number="14">නැගෙනහිරට තිබුණු ගෙයි ඉස්සරහ පැත්තේ ද වෙන් වූ මළුවේ ද පළල මීටර් පණහක් ය.</verse>
				<verse number="15">වෙන් වූ මළුවට ඉදිරිපිටින් ඊට පිටුපසින් තිබුණු ගොඩනැඟිල්ලේ දිග ද දෙපැත්තෙහි තිබුණු එහි පිට ශාලා ද මැන්නේ ය. ඒවා මීටර් පණහකි.</verse>
				<verse number="16">ඇතුළු මාලිගාව ද මළුවේ ශාලා ද එළිපත්ත ද පටු කවුළු ද මහල් තුනට ම එළිපත්ත ඉස්සරහ වටකර තිබුණු පිට ශාලා ද තුනී ලෑලිවලින් වසා තිබුණේ ය. බිම සිට කවුළු දක්වාත් එසේ ම තිබුණේ ය. කවුළුත් වසා තිබුණේ ය.</verse>
				<verse number="17">දොරකඩට ඉහළින් ද ඇතුළු මාලිගාව දක්වා ද පිටතින් වටකර ඇතුළත සහ පිටත මුළු බිත්තිය ද මැන්නේ ය.</verse>
				<verse number="18">එහි කෙරුබ්වරුන් ද තල් ගස් ද කැටයම් කර තිබිණි. කෙරුබ්වරුන් දෙදෙනෙකු අතරේ තල් ගසක් බැගින් තිබිණි. එක එක කෙරුබ්වරයෙකුට මුහුණු දෙකක් තිබිණි.</verse>
				<verse number="19">එනම්, එක පැත්තක තල් ගහ දෙසට මනුෂ්‍ය මුහුණක් ද අනික් පැත්තෙහි තල් ගහ දෙසට තරුණ සිංහ මුහුණක් ද තිබුණේ ය. වටකර මුළු ගෘහයෙහි එසේ සාදා තිබුණේ ය.</verse>
				<verse number="20">බිම සිට දොරකඩ ඉහළ දක්වා දේව මාලිගාවේ බිත්තියෙහි කෙරුබ්වරුන් සහ තල් ගස් ද සාදා තිබුණේ ය.</verse>
				<verse number="21">දේව මාලිගාවේ උළුවහු කණු සතරැස් ව තිබුණේ ය. ශුද්ධස්ථානය ඉදිරිපිට දිස් වූයේ;</verse>
				<verse number="22">ලී පූජාසනය මෙනි. එහි උස මීටර් එකහමාරක් ය, දිග මීටර් එකක් ය. එහි කොන් ද එහි ඇති අඩිය ද එහි පැති ද ලීවලින් ය. එවිට ඔහු කතා කරමින්, ‘මෙය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිබෙන මේසය ය’යි මට කී ය.</verse>
				<verse number="23">මාලිගාවටත්, ශුද්ධස්ථානයටත් දොරවල් දෙකක් තිබුණේ ය.</verse>
				<verse number="24">දොරටුවලට දෙපියන් එනම්, දෙපැත්තට ඇරෙන පියන් දෙකක් තිබිණි. එක දොරකට පියන් දෙකක් ද අනික් එකට පියන් දෙකක් ද තිබුණේ ය.</verse>
				<verse number="25">බිත්තිවල සාදා තිබුණාක් මෙන් දේව මාලිගාවේ දොරවල් පිටත් කෙරුබ්වරුන් සහ තල් ගස් සාදා තිබිණි. ශාලාව ඉස්සරහ පිටතින් ඝන ලීවලින් තැනූ උඩු වියනක් තිබිණි.</verse>
				<verse number="26">ශාලාවේ දෙපැත්තෙහි ද කාමරවල ද ඝන ලී උඩුවියනේ ද දෙපැත්තේ බිත්තිවල ද පටු කවුළු සහ තල් ගස් තිබිණි. ඝන ලී පඩි කඳන් ද තිබිණි.</verse>
			</chapter>
			<chapter number="42">
				<verse number="1">තවද, ඔහු උතුරු දෙස පිට මළුවට මා ගෙන ගොස් වෙන් වූ මළුවටත්, උතුරු දෙසට තිබුණු ගොඩනැඟිල්ලටත් ඉදිරිපිට තිබුණු කාමරයට මා පැමිණෙව්වේ ය.</verse>
				<verse number="2">උතුරු දොරකඩ මීටර් පණහක් දිග ඉස්සරහ පිට තිබුණේ ය. පළල ද මීටර් විසිපහක් ය.</verse>
				<verse number="3">ඇතුළු මළුවේ මීටර් දහයකට ඉදිරිපිටත්, පිට මළුවේ ගල් බිම ඉදිරිපිටත් නවාතැන් ශාලාවක් බැගින් මහල් තුනක් තිබිණි.</verse>
				<verse number="4">කාමර ඉස්සරහ මීටර් පහක් පළල ඇති මාර්ගයක් ද ඇතුළට යාමට මීටර් භාගයක් පළල ඇති පාරක් ද තිබිණි. ඒවායේ ඉහළ කාමර කොට ව තිබිණි.</verse>
				<verse number="5">මන්ද, ඒ ගොඩනැඟිල්ලේ පහළ සහ මැද කොටස්වලින් ඉඩ අසු වුණාට වඩා, ඒවායෙන් පිට ශාලාවට ඉඩ අසු විය.</verse>
				<verse number="6">මෙසේ වූයේ ඒවා මහල් තුනක් ව තිබුණු නමුත්, මළුවල කුළුණු වාගේ ඒවාට කුළුණු නොතිබුණු නිසා ය. එබැවින් පහළ ඒවාටත්, මැද ඒවාටත් වඩා ඒවා බිම සිට ඉහළට යන්න යන්න පටු ව තිබිණි.</verse>
				<verse number="7">කාමර දිගට පිට මළුව දෙසට කාමරවලට ඉදිරිපිට පිටතින් තිබුණු තාප්පයේ දිග මීටර් විසිපහක් ය.</verse>
				<verse number="8">මන්ද, පිට මළුවේ කාමරවල දිග මීටර් විසිපහක් ය. එහෙත්, දේව මාලිගාව ඉදිරිපිට තිබුණු ඒවායේ දිග මීටර් පණහක් ය.</verse>
				<verse number="9">පිට මළුවෙන් මේ කාමරවලට පැමිණෙන්න නැගෙනහිර පැත්තෙන් ඇතුළු වන තැන ඒවාට යටින් තිබිණි.</verse>
				<verse number="10">නැගෙනහිර දෙසට තිබුණු මළුවේ තාප්පයේ පළලට ම වෙන් වූ මළුවටත්, ගොඩනැඟිල්ලටත් ඉදිරිපිට කාමර තිබිණි.</verse>
				<verse number="11">මේවා ඉස්සරහ පිට උතුරු පැත්තේ කාමරවල අන්දමට ම පාරක් තිබිණි. ඒවායේ දිග ද පළල ද ඒවාට ඇතුළු වන සියලු තැන් ද ඒවායේ වීථි ද ඒවායේ දොරටු ද මෙන් මේවාටත් තිබිණි.</verse>
				<verse number="12">දකුණු පැත්තේ කාමරවල දොරකඩවල වාගේ ඇතුළු වන තැන නැගෙනහිර දෙසට තාප්පය ඉදිරිපිට ම තිබුණු මාර්ගයේ මුල දොරකඩක් තිබිණි.</verse>
				<verse number="13">එවිට ඔහු මට කතා කොට, “වෙන් වූ මළුවට ඉදිරිපිට තිබෙන උතුරු කාමර ද දකුණු කාමර ද ශුද්ධ කාමර වේ. එහි සමිඳාණන් වහන්සේ ළඟට පැමිණෙන පූජකයෝ අතිශුද්ධ දේ අනුභව කරන්නෝ ය. එහි ඔව්හු අතිශුද්ධ දේවල් වූ ආහාර පූජාව ද පාප පූජාව ද අපරාධ පූජාව ද තබන්නෝ ය. මන්ද, ඒ ස්ථානය ශුද්ධ ය.</verse>
				<verse number="14">පූජකයන් එහි ඇතුළු වුණා ම ඔව්හු ශුද්ධස්ථානයෙන් පිට මළුවට නොයන්නෝ ය. සේවය කිරීමට ඔවුන් අඳින වස්ත්‍ර ද එහි තබන්නෝ ය. මන්ද, ඒවා ශුද්ධ ය. ඔව්හු වෙන වස්ත්‍ර හැඳගෙන සෙනඟට නියමිත තැන්වලට පැමිණෙන්නෝ ය”යි කී ය.</verse>
				<verse number="15">ඔහු ඇතුළු ගෘහය මැන අවසන් කළ විට නැගෙනහිර කොටස දෙසට තිබෙන දොරටුවේ මාර්ගයෙන් මා පිටතට ගෙන ගොස් වටේට ම එය මැන්නේ ය.</verse>
				<verse number="16">මනින දණ්ඩෙන් ඔහු නැගෙනහිර පැත්ත මැන්නේ ය. එය මනින දණ්ඩෙන් වටේට පන්සියයක් ව තිබුණේ ය.</verse>
				<verse number="17">ඔහු උතුරු පැත්ත මැන්නේ ය. එය වටේට මනින දණ්ඩෙන් පන්සියයක් ව තිබුණේ ය.</verse>
				<verse number="18">ඔහු දකුණු පැත්ත මැන්නේ ය. එය මනින දණ්ඩෙන් පන්සියයක් ව තිබුණේ ය.</verse>
				<verse number="19">ඔහු බස්නාහිර පැත්තට හැරී ගොස් එය මැන්නේ ය. එය මනින දණ්ඩෙන් පන්සියයක් ව තිබුණේ ය.</verse>
				<verse number="20">ඔහු එහි සතර පැත්ත ම මැන්නේ ය. ශුද්ධස්ථානය පොදු ස්ථානයෙන් වෙන් කරන පිණිස දඬු පන්සියයක් දිග අතටත්, පන්සියයක් පළල අතටත් ඇති පවුරක් ඒ වටකරින් තිබුණේ ය.</verse>
			</chapter>
			<chapter number="43">
				<verse number="1">තවද, ඔහු නැගෙනහිර දෙසට තිබුණු දොරටුව ළඟට මා ගෙන ගියේ ය.</verse>
				<verse number="2">එවිට ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ තේජාලංකාරය නැගෙනහිර දිශාවෙන් පැමිණෙනු දිටිමි. උන් වහන්සේගේ ශබ්දය බොහෝ ජල ඝෝෂාවක ශබ්දය මෙන් විය. පොළොව ද උන් වහන්සේගේ තේජාලංකාරයෙන් බැබළුණේ ය.</verse>
				<verse number="3">මා දුටු දර්ශනය නම්, මා නුවර විනාශ කරන්න එද්දී මා දුටු දර්ශනය හා සමාන ය. ඒ දර්ශනය කෙබාර් ඉවුරේ මා දුටු දර්ශනය හා සමාන ය. එවිට මම මුණින්තළා වී වැටුණෙමි.</verse>
				<verse number="4">සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරය නැගෙනහිර දෙසට තිබුණු දොරටුවේ මාර්ගයෙන් ගෘහයට ඇතුළු විය.</verse>
				<verse number="5">එවිට ආත්මානුභාවය මා ඔසවාගෙන ඇතුළු මළුවට මා පැමිණෙව්වේ ය. මාලිගාව සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරයෙන් පිරී තිබෙන බව දිටිමි.</verse>
				<verse number="6">මනුෂ්‍යයෙක් ද මා ළඟ සිටියේ ය. කෙනෙකු මාලිගාවේ සිට මට කතා කරනු මට ඇසිණි. ඒ හඬ මා අමතා,</verse>
				<verse number="7">“මනුෂ්‍ය පුත්‍රය, මෙය මාගේ සිංහාසනය ඇති ස්ථානය ය. මා වැඩමකරන ස්ථානය ය. මම මෙහි ඉශ්රායෙල්වරුන් අතරෙහි සදාකාලේට ම වාසය කරන්නෙමි. ඉශ්රායෙල් වංශයටත්, ඔවුන්ගේ රජවරුන්ටත් තමන්ගේ වේශ්‍යාකම්වලින් ද තමන්ගේ රජවරුන්ගේ මළකඳන් වැළලීමෙන් ද මාගේ සුවිශුද්ධ නාමය අපවිත්‍ර කරන්නට තවත් ඉඩ නොදෙන්නෙමි.</verse>
				<verse number="8">ඔව්හු තමන්ගේ එළිපත්ත මාගේ එළිපත්ත ළඟ ද තමන්ගේ උළුවහු කණු මාගේ උළුවහු කණු ළඟ ද තැබූ හ. මා සහ ඔවුන් අතරේ තිබුණේ බිත්තිය පමණක් ය; එසේ ඔවුන් කළ තමන්ගේ පිළිකුල් ක්‍රියා මඟින් ඔව්හු මාගේ සුවිශුද්ධ නාමය කෙලෙසූ හ. මම ද මාගේ උදහසින් ඔවුන් විනාශ කෙළෙමි.</verse>
				<verse number="9">දැන් ඔව්හු තමන්ගේ වේශ්‍යාකම් ද තමන්ගේ රජවරුන්ගේ මළකඳන් ද මා වෙතින් පහකරත් වා! එවිට මම ඔවුන් අතරෙහි සදාකාලේට ම වාසය කරන්නෙමි.</verse>
				<verse number="10">“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් සෙනඟ තමන්ගේ අපරාධ ගැන ලජ්ජා වන පිණිසත්, දේව මාලිගාවේ ආදර්ශ සැලැස්ම මනින පිණිසත් දේව මාලිගාව ඔවුන්ට පෙන්වන්න.</verse>
				<verse number="11">ඔව්හු තමන් කළ සියල්ල ගැන ලජ්ජා වී සිටිත් නම්, දේව මාලිගාවේ සැලැස්ම ද එහි පිළිවෙළ ද ඇතුළට පිටතට යන එන තැන් ද එහි මුළු හැඩය ද එහි සියලු ම නීති රීති ද එහි මුළු සැලැස්ම ද එහි සියලු ම නීති රීති ද අනුගමනය කරමින් ඒවා ක්‍රියාත්මක කරන පිණිස ඔවුන් ඉදිරියේ දී ඒවා ලියන්න.</verse>
				<verse number="12">දේව මාලිගාව පිළිබඳ නියමාවලිය මෙසේ ය. කන්ද මුදුනෙහි වටකර ම එහි මුළු සීමාව ඉතා ශුද්ධ ය. දේව මාලිගාවේ නියමාවලිය එය වේ.”</verse>
				<verse number="13">තවද, උන් වහන්සේ මෙසේ වදාළ සේක: “ දේව මාලිගාව මැන්න මිම්ම අනුව ම පූජාසනයේ මිමි මේවා ය: එහි අඩිතාලමේ උස සෙන්ටිමීටර් පණහකි. පළලත් සෙන්ටිමීටර් පණහකි. වටකර එහි ගැටිය අද්දර දක්වා සෙන්ටිමීටර් විසිපහකි.</verse>
				<verse number="14">මෙය පූජාසනයේ අඩිතාලම ය. බිම පටන් පහළ පිළට මීටරයක් ය, පළල සෙන්ටිමීටර් පණහක් ය, කුඩා පිළ පටන් ලොකු පිළට මීටර් දෙකක් ය, පළල ද සෙන්ටිමීටර් පණහකි.</verse>
				<verse number="15">පූජාසනයේ උඩ කොටස මීටර් දෙකකි; උඩ කොටස සිට ඉහළට අං සතරක් වැනි කොන් ඇත්තේ ය.</verse>
				<verse number="16">උඩ කොටසේ දිග මීටර් හයකි. පළලත් මීටර් හයකි, හතර පැත්ත හතරැස් ය.</verse>
				<verse number="17">එහි සතර පැත්තේ පිළේ දිග මීටර් හතකි, එහි පළලත් මීටර් හතකි, එය වටකර තිබෙන ගැටිය සෙන්ටිමීටර් විසිපහකි. එය වටකර තිබෙන අඩිතාලම සෙන්ටිමීටර් පණහකි. එහි පඩිය නැගෙනහිර දෙසට ය.”</verse>
				<verse number="18">තවද, උන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, පූජාසනය පිට දවන යාග පූජා ඔප්පු කරන්නටත්, එය පිට ලේ ඉසින්නටත් පූජාසනය ඉදි කළ විට ඒ ගැන නියෝග මේවා ය.</verse>
				<verse number="19">එදින මට සේවය කරන්න මා ළඟට පැමිණෙන ශාදොක්ගේ වංශයේ ලෙවීවරුන් වන පූජකයන්ට පූජාසනය මත දවන පාප පූජාවක් පිණිස ගොන් වස්සෙකු දෙන්නැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="20">නුඹ උගේ ලේවලින් ස්වල්පයක් රැගෙන එහි අං වැනි කොන් සතරේ ද මැද කොටසේ කොන් සතරේ ද වටකර ගැටියේ ද ගා, එසේ පූජාසනයේ දෝෂ පහකර, පිරිසිදු කර, ඒ උදෙසා සමඟිකමේ පූජාවක් ඔප්පු කරන්න.</verse>
				<verse number="21">තවද, පාප පූජාව සඳහා කැප කළ ගොනා රැගෙන ශුද්ධස්ථානයට පිටතින් මාලිගාවේ නියම තැන ඌ පුළුස්සන්න.</verse>
				<verse number="22">දෙ වන දවසේ පාප පූජාවක් පිණිස එළුවන්ගෙන් කැළලක් නැති පිරිමි සතෙකු ගෙනෙන්න. ගොනා පූජා කිරීමෙන් පූජාසනය පවිත්‍ර කළාක් මෙන් එයින් එය පවිත්‍ර කරත් වා.</verse>
				<verse number="23">නුඹ එය පවිත්‍ර කර අවසාන වූ විට කැළලක් නැති වස්සෙකු ද රැළෙන් කැළලක් නැති බැටළුවෙකු ද ගෙන්වා</verse>
				<verse number="24">උන් සමිඳාණන් වහන්සේ ඉදිරිපිටට පමුණුවන්න, එවිට පූජකයෝ උන් පිට ලුණු දමා, දවන යාග පූජාවක් කොට සමිඳාණන් වහන්සේට උන් ඔප්පු කරත් වා.</verse>
				<verse number="25">දිනපතා ම සත් දවසක් පූජාවක් වශයෙන් එළුවෙකු පූජා කරන්න. එසේ ම කැළලක් නැති ගොන් වස්සෙකු ද රැළෙන් බැටළුවෙකු ද ඔව්හු පූජා කරත් වා.</verse>
				<verse number="26">සත් දවසක් ඔව්හු පූජාසනය උදෙසා සමඟිකමේ පූජා ඔප්පු කොට, පිරිසිදු කර එය කැප කරත්වා.</verse>
				<verse number="27">ඒ කාලය අවසානයේ දී අට වන දවසේත්, ඉන්පසුත් පූජකයෝ නුඹලාගේ දවන යාග පූජා ද නුඹලාගේ සහභාගිකමේ පූජා ද පූජාසනය පිට ඔප්පු කරත් වා. මම ද නුඹලා පිළිගන්නෙමි යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”</verse>
			</chapter>
			<chapter number="44">
				<verse number="1">එවිට ඒ මිනිසා නැගෙනහිරට තිබෙන ශුද්ධස්ථානයේ දොරටුව දෙසට යන මාර්ගයෙන් මා ගෙන ගියේ ය. එහෙත්, ඒ දොරටුව වසා තිබුණේ ය.</verse>
				<verse number="2">සමිඳාණන් වහන්සේ මට කතා කොට, “මේ දොරටුව නෑර වසා තිබිය යුතු ය. කිසිවෙක් එයින් ඇතුළු නොවන්නේ ය. මන්ද, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ එයින් ඇතුළු වූ සේක. එබැවින් එය වසා තිබිය යුතු ය.</verse>
				<verse number="3">අධිපතියාට නම්, ඔහු අධිපතියා බැවින්, එහි හිඳගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කෑම කන්න ලැබෙනු ඇත. ඔහු ද්වාර මණ්ඩපයෙන් ඇතුළුවනු ඇත. ඒ මාර්ගයෙන් ම පිටතට යනු ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="4">එවිට ඔහු උතුරු දොරටුවේ මාර්ගයෙන් මාලිගාවේ ඉස්සරහ පැත්තට මා පැමිණෙව්වේ ය. මා බැලූ විට සමිඳාණන් වහන්සේගේ මාලිගාව සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරයෙන් පිරී තිබෙන බව දැක මම මුණින්තළා වී වැටුණෙමි.</verse>
				<verse number="5">සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සියලු නීති රීති ගැන ද එහි පිළිවෙළ ගැන ද මා නුඹට කියන සියල්ල ම නුඹ සිතට ගෙන, හොඳින් බලා, සාවධාන ව අසන්න. මාලිගාවට ඇතුළු වන තැනටත්, ශුද්ධස්ථානයෙන් පිටතට යන සියලු තැන්වලටත් නුඹේ සිත යොමු කරන්න. මාලිගාවට ඇතුළු වන්නට අවසර ඇති අය ද ශුද්ධස්ථානයෙන් පිටමං කළ යුතු අය ද ගැන සැලකිල්ලෙන් සිටින්න.</verse>
				<verse number="6">“කැරලිකාර ඉශ්රායෙල් වංශයට මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න. එම්බා ඉශ්රායෙල් වංශය, නුඹලාගේ සියලු පිළිකුල් ක්‍රියා සීමාව ඉක්මවා ගොස් ඇත.</verse>
				<verse number="7">නුඹලා මාගේ ආහාර වන තෙල ද ලේ ද ඔප්පු කරන විට, මාගේ මාලිගාව කෙලෙසන හැටියට මාගේ ශුද්ධස්ථානයෙහි සිටීමට ගතින් හා සිතින් පාප මල කපා නොදැමූ විදේශීන් එය ඇතුළට ගෙනාවහු ය. නුඹලාගේ සියලු පිළිකුල් ක්‍රියා මදිවාට නුඹලා මාගේ ගිවිසුමත් කඩ කළහු ය.</verse>
				<verse number="8">නුඹලා මාගේ ශුද්ධ සේවය නොපවත්වා, නුඹලා වෙනුවට විජාතීන් මාගේ ශුද්ධස්ථානයෙහි මාගේ සේවය පවත්වන්නන් ලෙස පත් කළහු ය.</verse>
				<verse number="9">“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. ඉශ්රායෙල්වරුන් අතරෙහි සිටින විදේශීන්ගෙන් ගතින් හා සිතින් පාප මල පහකර නොදැමූ කිසි ම කෙනෙක් මාගේ ශුද්ධස්ථානයට ඇතුළු නොවෙත් වා!</verse>
				<verse number="10">“තමන්ගේ දේව රූප පස්සේ මුළා වී ගිය ඉශ්රායෙල්වරුන් මුළා ව ගිය කල මා වෙතින් අහක් ව ගියා වූ ලෙවීවරුන් ඔවුන්ගේ පාපවල විපාකය දැරිය යුතු ය.</verse>
				<verse number="11">එහෙත්, ඔව්හු මාගේ ශුද්ධස්ථානයෙහි සේවකයන් ව, මාලිගාවේ දොරටුවල රැකවලුන් ව, මාලිගාවේ සේවකයන් ව සිටින්නෝ ය. ඔවුන් වනාහි දවන යාග පූජාව සහ යාග පූජාව උදෙසා සතුන් මරා දෙනු ඇත. සෙනඟට සේවය කිරීමට ද ඔවුන් ඉදිරියෙහි සිටිනු ඇත.</verse>
				<verse number="12">ඔවුන්ගේ දේව රූප ඉදිරියෙහි ඔවුන්ට මොවුන් සේවය කොට ඉශ්රායෙල් වංශය පැකිළවන පාපයට පෙළඹෙවූ බැවින් මාගේ අත මොවුන්ට විරුද්ධ ව එසෙවූවෙමි. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. ඔවුන් තමන්ගේ පාපයේ විපාකය දරනු ඇත.</verse>
				<verse number="13">මට පූජක සේවය කරමින් මාගේ සියලු ශුද්ධ දේවල් වන අතිශුද්ධ දේවලින් යමක් ළඟට වත්, මා ළඟට වත් ඔවුන් නොපැමිණිය යුතු ය. ඔවුන් තමන් කළ පිළිකුල් ක්‍රියාවල විපාකයක් වශයෙන් ලජ්ජාව දැරිය යුතු ය.</verse>
				<verse number="14">එසේ මාලිගාවේ මුළු මෙහෙයටත්, එහි කෙරෙන සියල්ලටත් ඔවුන් මාලිගාව බලාගන්න රැකවලුන් කරන්නෙමි.</verse>
				<verse number="15">“එහෙත් ඉශ්රායෙල්වරුන් මා වෙතින් මුලා වී ගිය විට, මාගේ ශුද්ධස්ථානයේ සේවය පැවැත්වූ ලෙවීවරුන් වූ පූජකයන් වන ශාදොක්ගේ පුත්‍රයන්ට නම්, මට සේවය කිරීමටත්, මා ළඟට පැමිණෙන්නත්, තෙල සහ ලේ මට ඔප්පු කිරීමට මා ඉදිරියෙහි සිටින්නත් අවසර ඇත. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.</verse>
				<verse number="16">ඔවුන්ට නම්, මාගේ ශුද්ධස්ථානයට ඇතුල් වන්නත්, මට සේවය කිරීමට මාගේ මේසය ළඟට පැමිණෙන්නත්, මාගේ සේවය පවත්වන්නත් අවසර ඇත.</verse>
				<verse number="17">ඔවුන් ඇතුළු මළුවේ දොරටුවලට ඇතුළු වන කල හණ වස්ත්‍ර ඇඳ සිටිය යුතු ය. ඇතුළු මළුවේ දොරටුවලට ඇතුළතින් ද මාලිගාවෙහි ද සේවය කරන අතර ඔව්හු ලෝම රෙදි නෑඳ සිටිත් වා.</verse>
				<verse number="18">ඔවුන්ගේ හිස් පිට හණ තොප්පි ද ඔවුන්ගේ ඉඟටිවල හණ වැසුම් ද තිබේ වා. ඩහදිය හටගන්වන දෙයක් පොරවා නොගනිත් වා.</verse>
				<verse number="19">ඔවුන් පිට මළුවට එනම්, පිට මළුවේ සෙනඟ ළඟට යන කල, ඔවුන් සේවය කරන්නට අඳින තමන්ගේ වස්ත්‍ර ගලවා, ඒවා ශුද්ධස්ථානයේ කාමරවල තබා, තමන්ගේ ශුද්ධ වස්ත්‍රවලින් සෙනඟට නපුරක් නොවන ලෙස වෙන වස්ත්‍ර ඇඳගනිත් වා.</verse>
				<verse number="20">“ඔව්හු තමන්ගේ හිස බූගාන්නේ වත් ඉසකේ දික් වීමට අරින්නේ වත් නැති ව තමන්ගේ ඉසකේ කපත් වා.</verse>
				<verse number="21">ඇතුළු මළුවට ඇතුළු වන කල කිසි පූජකයෙක් මුද්‍රික පානය නොබී සිටී වා.</verse>
				<verse number="22">ඔව්හු වැන්දඹුවන් වත්, දික්කසාද වූ ස්ත්‍රීන් වත් නොව, ඉශ්රායෙල් වංශයේ කන්‍යාවන් සරණ පාවාගනිත් වා! එහෙත්, පූජකයෙකුගේ වැන්දඹුවක ව සිටින ස්ත්‍රියක පාවාගන්නට ඔවුන්ට අවසර ඇත.</verse>
				<verse number="23">“ කැප දෙය සහ අකැප දෙය අතර තිබෙන වෙනස ඔව්හු මාගේ සෙනඟට පෙන්වා, අපවිත්‍ර දෙය සහ පවිත්‍ර දෙය අතරෙන් තිබෙන වෙනස ඔවුන්ට දන්වත් වා.</verse>
				<verse number="24">පැමිණිල්ලක් ගැන නම්, ඔව්හු ම විනිශ්චය කිරීමට සිට, මාගේ විනිශ්චයයන් හැටියට එය විනිශ්චය කරත් වා. මාගේ ව්‍යවස්ථා ද මාගේ නියෝග ද මාගේ සියලු නියමිත මංගලවල දී ඔව්හු රක්ෂා කරත් වා. මාගේ සබත් දවස් ද ශුද්ධ කොට පවත්වත් වා.</verse>
				<verse number="25">“ඔවුන් මළ කෙනෙකු ළඟට පැමිණියහොත් අපවිත්‍ර වනු ඇත. එහෙත්, පියා හෝ මව හෝ පුත්‍රයෙකු හෝ දුවක හෝ සහෝදරයෙකු හෝ අවිවාහක සහෝදරියක හෝ නිසා ඔවුන් අපවිත්‍ර නොවනු ඇත.</verse>
				<verse number="26">යමෙකු අපවිත්‍ර වුවහොත් ඔහු පිරිසිදු වීමට ඔහුට සත් දවසක් වත් ගත විය යුතු ය.</verse>
				<verse number="27">ඔහු ශුද්ධස්ථානයේ සේවය කරන්න ශුද්ධස්ථානයේ ඇතුළු මළුවට පිවිසෙන දවසේ ඔහු තමාගේ පාප පූජාව ඔප්පු කළ යුතු ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.</verse>
				<verse number="28">“ඔවුන්ට නියම උරුමය නැත. ඔවුන්ගේ උරුමය මම වෙමි.</verse>
				<verse number="29">ඉශ්රායෙලයේ කවරෙකුට වුව ද නුඹලා උරුමයක් නොවන්නහු ය. ඔවුන්ගේ උරුමය මම වෙමි. ඔවුන්ට ආහාර පූජාව ද පාප පූජාව ද අපරාධ පූජාව ද කන්න අවසර ඇත. ඉශ්රායෙල්වරුන් අතරෙහි කැප වූ සියල්ල ම ඔවුන්ට වන්නේ ය.</verse>
				<verse number="30">සියලු ම දේවල්, සියලු ම ප්‍රථම පලවලින් පළමු ඒවා ද නුඹලාගේ සියලු ආකාර දේවල එසවීමේ පූජා සියල්ල ද පූජකයන්ට වන්නේ ය. නුඹේ පවුලට ආශීර්වාදයක් ලැබෙන පිණිස නුඹලා ඇනූ පිටියෙන් මුල් ම කොටස පූජකයන්ට දෙන්න.</verse>
				<verse number="31">ඉබේ ම මැරුණු නොහොත් මෘගයන් විසින් ඉරාදමනු ලැබූ කිසි පක්ෂියෙකු වත්, මෘගයෙකු වත් පූජකයෙකු නොකෑ යුතු ය.”</verse>
			</chapter>
			<chapter number="45">
				<verse number="1">“තවද, නුඹලා දේශය උරුම කරගැනීමට පස ඇට දමන කල, දේශයෙන් ශුද්ධ කොටසක් සමිඳාණන් වහන්සේට ඔප්පු කරන්න. එහි දිග කිලෝමීටර් දොළහමාරකි. පළල කිලෝමීටර් පහකි. මේ මුළු කොටස ශුද්ධ භූමියක් විය යුතු ය.</verse>
				<verse number="2">එක පැත්තක් මීටර් දෙසියපණහක් වන චතුරශ්‍රයක් ශුද්ධස්ථානයට වේ වා. ඊට තණ බිමක් පිණිස මීටර් විසිපහකුත් වටේට තිබේ වා.</verse>
				<verse number="3">ඒ මිම්මෙන් කිලෝමීටර් දොළහමාරක් දිග ද කිලෝමීටර් පහක් පළල ද ඇති ඉඩමක් මනින්න. ඒක තුළ ශුද්ධස්ථානය වන අතිශුද්ධස්ථානය වන්නේ ය.</verse>
				<verse number="4">එය දේශයෙන් ශුද්ධ කොටසක් ය. එය සමිඳාණන් වහන්සේට සේවය කරන්න පැමිණෙන ශුද්ධස්ථානයේ සේවකයන් වන පූජකයන්ට අයිති වන්නේ ය. එය ඔවුන්ගේ නිවෙස්වලට ඉඩමක් ද ශුද්ධස්ථානයට ශුද්ධ තැනක් ද වන්නේ ය.</verse>
				<verse number="5">කිලෝමීටර් දොළහමාරක් දිග ද කිලෝමීටර් පහක් පළල ද ඇති ඉඩමක් මාලිගාවේ සේවකයන් වන ලෙවීවරුන් වාසය සඳහා පිහිටුවීමට නගර පිණිස උරුමයක් වේ වා.</verse>
				<verse number="6">“නුවර කොටස පිණිස කිලෝමීටර් දොළහමාරක් දිග ද කිලෝමීටර් දෙකහමාරක් පළල ද ඇති ඉඩමක් ශුද්ධ කොටස ළඟ නියම කරන්න. එය මුළු ඉශ්රායෙල් වංශයට අයිති වන්නේ ය.”</verse>
				<verse number="7">“ශුද්ධ කොටසටත්, නුවරට අයිති කොටසටත් දෙපැත්තෙහි එනම්, ශුද්ධ කොටසටත්, නුවරට අයිති කොටසටත් යාව දිගට ම බස්නාහිර පැත්තෙහි සහ නැගෙනහිර පැත්තෙහි අධිපතියාට කොටස් වේ වා. ඒවායේ දිග බස්නාහිර සීමාවේ සිට නැගෙනහිර සීමාවට ඇති ගෝත්‍රයක කොටසට සමාන විය යුතු ය.</verse>
				<verse number="8">දේශයෙහි ඉශ්රායෙල්වරුන් අතරෙහි එය ඔහුට කොටසක් වන්නේ ය. එසේ මාගේ අධිපතීන් මාගේ සෙනඟට තවත් පීඩා නොකර ඉශ්රායෙල් වංශයට ඔවුන්ගේ ගෝත්‍ර ප්‍රකාරයට දේශය දෙනු ඇත.”</verse>
				<verse number="9">මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “එම්බා ඉශ්රායෙල් අධිපතිවරුනි! ඉතින් නුඹලා පව් කළ ප්‍රමාණය ඇත. බලහත්කාරය සහ කොල්ලකෑම ද පහකොට, යුක්තිය සහ ධර්මිෂ්ඨකම ද කර මාගේ සෙනඟට බලහත්කාර කිරීමෙන් වැළකෙන්නැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="10">“හරි තරාදි ද හරි කිරුම් පඩි ද හරි මිම්මක් ද නුඹලාට තිබේ වා.</verse>
				<verse number="11">“බාත් එකකට හෝමෙර් දසයෙන් කොටසක් ද ඒපාවට හෝමෙර් දසයෙන් කොටසක් ද හෝමෙර් එකක් ලීටර් එකසිය හැත්තෑපහක් ද අල්ලන පිණිස ඒපාව හා බාත් එක ප්‍රමාණය වන්නේ ය. ඒවායේ ප්‍රමාණය හෝමෙර්ට හරි ව තිබේ වා.</verse>
				<verse number="12">“ෂෙකෙලට ගේරා විස්සක් ය. ෂෙකෙලය ග්‍රෑම් එකොළහයි දශම හතරකි. නුඹලාගේ මීනා එක ෂෙකෙල් හැටක් වන්නේ ය.</verse>
				<verse number="13">“නුඹලා ඔප්පු කළ යුතු වූ එසවීමේ පූජාව නම්, තිරිඟු අස්වැන්නෙන් හැටෙන් එකකි. යව අස්වැන්නෙන් හැටෙන් එකකි.</verse>
				<verse number="14">තෙල් සම්බන්ධ නියමය නම්, ගස්වලින් ලැබෙන තෙල් ප්‍රමාණයෙන් සියයෙන් කොටසකි. හෝමෙර් එකක් බාත් දහයකි; හෝමෙර් එක කොර් එකකි.</verse>
				<verse number="15">“ඉශ්රායෙල්වරුන් උදෙසා සමඟිකමක් කිරීමට ආහාර පූජාවටත්, දවන යාග පූජාවටත්, සහභාගිකමේ පූජාවලටත් ඉශ්රායෙල් පවුල්වලට අයිති එළු බැටළු පට්ටිවලින් දෙසියයකින් එක සතෙකු බැගින් දෙන්නට යෙදේ වා”යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="16">“ දේශයේ මුළු සෙනඟ ඒ පඬුර ඉශ්රායෙල් අධිපතියාට දිය යුතු ය.</verse>
				<verse number="17">අධිපතියාගේ යුතුකම් නම්, ඉශ්රායෙල් වංශයේ සියලු නියම කාලවල මංගල්‍යවලදීත්, නව සඳ පෝදිනවලදීත්, සබත් දවස්වලදීත් දවන යාග පූජා ද ආහාර පූජා ද පාන පූජා ද සපයා දීම ය. ඉශ්රායෙල් වංශය උදෙසා සමඟිකමක් කරන්නට පාප පූජා ද දවන යාග පූජාව ද සහභාගිකමේ පූජාව ද ඔහු පිළියෙළ කළ යුතු ය.”</verse>
				<verse number="18">“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: පළමු වන මාසයේ පළමු වන දා කැළලක් නැති ගොන් වස්සෙකු රැගෙන ශුද්ධස්ථානයේ දෝෂ පහකරන්න.</verse>
				<verse number="19">පූජකයා ද පාප පූජාවේ ලේවලින් ස්වල්පයක් රැගෙන මාලිගාවේ උළුවස්සේ කණුවලත්, පූජාසනයේ අඩිතාලමේ කොන් සතරේත් ඇතුළු මළුවේ දොරටුවේ උළුවහු කණුවලත් ගාන්නේ ය.</verse>
				<verse number="20">වැරදීමෙන් හෝ නොදැනුවත්කමෙන් හෝ යමෙකු පව් කළොත් මාසයේ සත් වන දවසේදීත් මාලිගාවේ එවැනි පූජාවක් ඔප්පු කළ යුතු ය. එලෙස කිරීමෙන් දේව මාලිගාව විශුද්ධ කරනු ඇත.</verse>
				<verse number="21">“පළමු වන මාසයේ දහහතර වන දින පටන් පාස්කු මංගල්‍යය සත් දවසක් පවත්වමින් මුහුන් නැති රොටි කන්න.</verse>
				<verse number="22">ඒ දවසේ දී අධිපතියා තමා උදෙසාත්, දේශයේ මුළු සෙනඟ උදෙසාත් ගොන් වස්සෙකු පාප පූජාවක් වශයෙන් පිළියෙළ කරන්නේ ය.</verse>
				<verse number="23">ඔහු මංගල්‍යය පවත්වන දවස් සත තුළ සමිඳාණන් වහන්සේට දවන යාග පූජාවක් ලෙස එක එක දවසට කැළලක් නැති ගොන් වස්සන් සත්දෙනෙකු ද බැටළුවන් සත්දෙනෙකු ද පාප පූජාවක් ලෙස දවසට එළුවෙකු ද පිළියෙළ කරන්නේ ය.</verse>
				<verse number="24">ඔහු ආහාර පූජාවක් ලෙස ගොනෙකුට පිටි ලීටර් දහහතහමාරක් ද බැටළුවෙකුට ධාන්‍ය ලීටර් දහහතරහමාරක් ද ධාන්‍ය ලීටරයකට තෙල් ලීටර් තුනක් ද බැගින් පිළියෙළ කරන්නේ ය.</verse>
				<verse number="25">“සත් වන මාසයේ පහළොස් වන දා මංගල්‍යයේ දී ඔහු එසේ ම සත් දවසක් ඒ පාප පූජාව ද දවන යාග පූජාව ද ආහාර පූජාව ද තෙල් ද පූජාව සඳහා පිළියෙළ කරන්නේ ය.”</verse>
			</chapter>
			<chapter number="46">
				<verse number="1">මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “නැගෙනහිර දෙස තිබෙන ඇතුළු මළුවේ දොරටුව වැඩ කරන දවස් හය තුළ වසා තැබිය යුතු ය. එහෙත්, සබත් දවසේ ද අමාවක දවසේ ද එය ඇර තිබෙන්නේ ය.</verse>
				<verse number="2">අධිපතියා ද පිටත දොරටුවේ ද්වාර මණ්ඩපයෙන් ඇතුළු වී දොරටුවේ කණුව ළඟ සිටින්නේ ය. පූජකයෝ ඔහුගේ දවන යාග පූජාව ද ඔහුගේ සහභාගිකමේ පූජාව ද පිළියෙළ කරන්නෝ ය. ඔහු දොරටුවේ එළිපත්ත ළඟ නමස්කාර කොට පිටතට යන්නේ ය. එහෙත්, සවස් වන තුරු දොරටුව නොවසා තිබිය යුතු ය.</verse>
				<verse number="3">දේශයේ සෙනඟ ද දොරකඩ ළඟ සබත් දවස්වල ද අමාවක් දවස්වල ද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නමස්කාර කරන්නෝ ය.</verse>
				<verse number="4">“අධිපතියා සබත් දවසේ දී සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු දවන යාග පූජාව නම්, කැළලක් නැති බැටළු පැටියන් හයදෙනෙකුත්, කැළලක් නැති බැටළුවෙකුත් ය;</verse>
				<verse number="5">ආහාර පූජාව නම්, බැටළුවා සමඟ ධාන්‍ය ලීටර් දහහතහමාරකුත්, බැටළු පැටවුන් සමඟ ඔහුට දෙන්න හැකි තෙල් ලීටර් තුනකුත් ය.</verse>
				<verse number="6">අමාවක දවසේ දී කැළලක් නැති ගොන් වස්සෙකුත්, බැටළු පැටවුන් හයදෙනෙකුත්, බැටළුවෙකුත් ඔප්පු කළ යුතු ය. උන් කැළලක් නැති සතුන් විය යුතු ය.</verse>
				<verse number="7">ගොනාටත්, බැටළුවාටත් පිටි ලීටර් දහහතහමාරකුත්, බැටළු පැටවුන්ට තමාගේ පුළුවන්කමේ හැටියට තෙල් ලීටර් තුනකුත් පිළියෙළ කරන්නේ ය.</verse>
				<verse number="8">අධිපතියා ඇතුළු වන කල ඔහු දොරටුවේ ද්වාර මණ්ඩපයෙන් ඇතුළු විය යුතු ය. ඒ මාර්ගයෙන් ම පිටතට යා යුතු ය.</verse>
				<verse number="9">“එහෙත්, දේශයේ සෙනඟ නියම කාලවල දී සමිඳාණන් වහන්සේ ඉදිරියට ඇතුළු වන කල, නමස්කාර කරන්න උතුරු ද්වාර මණ්ඩපයෙන් ඇතුළු වන අය දකුණු ද්වාර මණ්ඩපයෙන් පිටතට යා යුතු ය. දකුණු ද්වාර මණ්ඩපයෙන් ඇතුළු වන අය උතුරු ද්වාර මණ්ඩපයෙන් පිටතට යා යුතු ය. කවුරු නමුත්, ඇතුළු වන ද්වාර මණ්ඩපයෙන් හැරී නොගොස් ඊට ඉදිරියට ගමන් කළ යුතු ය.</verse>
				<verse number="10">ඔවුන් ඇතුළු වන කල අධිපතියාත් ඔවුන් අතරේ ඇතුළු වන්නේ ය. ඔවුන් පිටතට යන කල ඔහුත් පිටතට යන්නේ ය.</verse>
				<verse number="11">මංගල්‍යවල දී ද නියම කාලවල දී ද ඔප්පු කරන ආහාර පූජාව ගොනෙකුටත් බැටළුවෙකුටත් ලීටර් දහහතහමාරකුත් බැටළු පැටවුන්ට ඔහු දෙන පමණකුත් ඒ සමඟ තෙල් ලීටර් තුනකුත් වන්නේ ය.</verse>
				<verse number="12">“අධිපතියා ස්වේච්ඡා දවන පූජාවක් වත්, ස්වේච්ඡා සහභාගිකමේ පූජාවක් වත් සමිඳාණන් වහන්සේට පිළියෙළ කරන්න එන කල, නැගෙනහිරට තිබෙන දොර ඔහුට ඇර දිය යුතු ය. ඔහු සබත් දවසේ දී කරන ප්‍රකාරයට තමාගේ දවන යාග පූජාව ද සහභාගිකමේ පූජාව ද පිළියෙළ කර පිටතට යන්නේ ය. ඔහු ගිය පසු දොරටුව වසනු ලබන්නේ ය.”</verse>
				<verse number="13">“තවද, කැළලක් නැති අවුරුද්දක බැටළු පැටවෙකු දවන යාග පූජාවක් කොට දිනපතා ම සමිඳාණන් වහන්සේට ඔප්පු කරන්න. සෑම උදයක් පාසා එසේ පිළියෙළ කරන්න.</verse>
				<verse number="14">ඌ සමඟ සෑම උදයක් පාසා ම ආහාර පූජාවක් වන පිටි කිලෝග්‍රෑම් දෙකක් ද සිහින් ධාන්‍ය තෙමන්න තෙල් ලීටරයක් ද සමිඳාණන් වහන්සේට ආහාර පූජාවක් කොට පිළියෙළ කරන්න. ඒක නිරන්තර දවන යාග පූජාවට නියෝගයක් වන්නේ ය.</verse>
				<verse number="15">එසේ නිරන්තර දවන යාග පූජාවක් කොට බැටළු පැටවා ද ආහාර පූජාව ද තෙල් ද සෑම උදයක් පාසා උදයක් පිළියෙළ කළ යුතු ය.”</verse>
				<verse number="16">මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “අධිපතියා තමන්ගේ උරුමයෙන් තෑගි වශයෙන් යම් පුත්‍රයෙකුට තෑග්ගක් දුන්නොත්, එය ඔහුගේ උරුමය වන කොටස වන්නේ ය. එය ඔහුගේ පුත්‍රයන්ට අයිති වන්නේ ය. උරුම වීමෙන් එය ඔවුන්ගේ කොටස වේ.</verse>
				<verse number="17">එහෙත්, තමාගේ උරුමයෙන් තෑග්ගක් තමාගේ සේවකයන්ගෙන් යමෙකුට දුන්නොත් එය නිදහස් වීමේ අවුරුද්ද දක්වා ඔහුට අයිති වන්නේ ය. ඉන්පසු එය අධිපතියාට නැවත අයිති වන්නේ ය. ඔහුගේ උරුමය ඔහුගේ පුත්‍රයන්ට පමණක් අයිති වන්නේ ය.</verse>
				<verse number="18">සෙනඟ ඔවුන්ගේ උරුම කොටස්වලින් අහක් කරන හැටියට අධිපතියා ඔවුන්ගේ උරුමයෙන් කිසිවක් නොගනී වා. මගේ සෙනඟ තම තමන්ගේ උරුම කොටස්වලින් පන්නාදමනු නොලබන පිණිස තමාගේ ම කොටසෙන් තමාගේ ම පුත්‍රයන්ට උරුමයක් දේ වා!”</verse>
				<verse number="19">එවිට ඒ මිනිසා දොරටුව පැත්තෙන් ඇතුළු වීමට තිබුණු මගින් උතුරු දෙසට පූජකයන්ට තිබුණු ශුද්ධ කාමරවලට මා පැමිණෙව්වේ ය. එහි පිටුපස බස්නාහිර දෙසට බිමක් තිබුණේ ය.</verse>
				<verse number="20">ඔහු ද කතා කරමින්, “මේක පූජකයන් අපරාධ පූජාව සහ පාප පූජාව තම්බන්නටත්, ආහාර පූජාව බදින්නටත් වෙන් කර ඇති ස්ථානය වේ. එසේ කරන්නේ, සෙනඟ ශුද්ධ කරන පිණිස ඒවා පිට මළුවට නොගෙන යන පිණිස ය”යි මට කීවේ ය.</verse>
				<verse number="21">එවිට ඔහු පිට මළුවට මා පමුණුවා, මළුවේ මුලු හතර ළඟින් මා ගෙන ගියේ ය. එවිට මළුවේ එක එක මුල්ලෙහි මළුවක් තිබෙන බව දිටිමි.</verse>
				<verse number="22">මළුවේ මුලු හතරේ මළු සෙවිලිකර, මීටර් විස්සක් දිග ද මීටර් පහළොවක් පළල ද විය. ඒ සතර ම එක මිම්මට තිබුණේ ය.</verse>
				<verse number="23">ඒ සතර ම වටේට ඒවා ඇතුළෙහි බැම්මක් බැගින් තිබුණේ ය. ඒ බැමි පහතින් වටේට මැටි උදුන් සාදා තිබුණේ ය.</verse>
				<verse number="24">එවිට ඔහු කතා කරමින්, “මේවා මාලිගාවේ සේවකයන් විසින් සෙනඟගේ පූජා තම්බනු ලබන්න ඕනෑ වූ මුළුතැන් ගෙවල් ය”යි මට කීවේ ය.</verse>
			</chapter>
			<chapter number="47">
				<verse number="1">පසු ව ඒ මනුෂ්‍යයා දේව මාලිගාවේ දොරකඩ ළඟට මා නැවත පැමිණෙව්වේ ය. එවිට දේව මාලිගාවේ එළිපත්තට යටින් නැගෙනහිර දෙසට වතුර ගලා යන බව මම දිටිමි. මන්ද, දේව මාලිගාවේ ඉස්සරහ පැත්ත නැගෙනහිර දෙසට තිබුණේ ය. ඒ වතුර දේව මාලිගාවට දකුණු පැත්තෙන් පූජාසනයට දකුණෙන් එළිපත්ත යටින් ගලා ආවේ ය.</verse>
				<verse number="2">එකල ඔහු මා උතුරු ද්වාර මණ්ඩපයෙන් පිටතට ගෙනගොස්, නැගෙනහිරට මුහුණ පා තිබුණු පිටත දොරටුව ළඟට වටකරින් මා පැමිණෙව්වේ ය. එවිට වතුර දකුණු පැත්තෙන් වැගිරෙනු දිටිමි.</verse>
				<verse number="3">ඒ මනුෂ්‍යයා තමාගේ අතින් ලණුව රැගෙන නැගෙනහිර දෙසට යමින් මීටර් පන්සියයක් මැන්නේ ය. එවිට ඔහු මට වතුර මැදින් එගොඩට යන්න කීවේ ය. වතුර වළලුකර දක්වා තිබුණේ ය.</verse>
				<verse number="4">ඔහු තව මීටර් පන්සියයක් මැන වතුර මැදින් මට යන්න කීවේ ය. වතුර දණ හිස් දක්වා තිබුණේ ය. ඔහු තව මීටර් පන්සියයක් මැන වතුර මැදින් මා යැව්වේ ය. එතැන වතුර ඉඟටිය දක්වා තිබුණේ ය.</verse>
				<verse number="5">ඔහු තව මීටර් පන්සියයක් මැන්නේ ය. එවිට එය මට බැස යන්න බැරි ගඟක් ව තිබුණේ ය. මන්ද, බැස යන්න බැරි ගඟක් ව පීනන්න වුවමනා තරමට වතුර ඉහළට නැඟ තිබුණේ ය.</verse>
				<verse number="6">එවිට ඔහු කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, නුඹ මෙය දුටුවෙහි දැ”යි මාගෙන් අසා, මා කැඳවාගෙන නැවත ගං ඉවුරට පැමිණෙව්වේ ය.</verse>
				<verse number="7">මම හැරී ගිය කල, ගං ඉවුර දෙපැත්තෙන් ම බොහෝ ගස් තිබෙනු දිටිමි.</verse>
				<verse number="8">ඔහු කතා කරමින්, “මේ වතුර නැගෙනහිර දිශාවට ගලා ගොස්, අරබා සමභූමියට බැස ගොස්, එහි මළ මුහුදට ඇතුළු වූ විට ජලය මිරිදියට හැරුණේ ය.</verse>
				<verse number="9">මේ ගංගා ගලා යන සෑම තැන ම රාශි ගණන් පණ ඇති සියලු ම සත්ත්වයෝ ජීවත් වන්නෝ ය. එසේ මත්ස්‍යයන් මහා ගණනක් හටගනු ඇත. මන්ද, මේ වතුර එහි පැමිණි විට අනික් ඒවා මිරිදිය වන්නේ ය. ගංගාව ගලා යන කොතැනක වුව ද සිටින සියල්ලන් ජීවත් ව සිටිනු ඇත.</verse>
				<verse number="10">මසුන් අල්ලන්නන් එය අද්දර සිටිනු ඇත. ඒන්-ගෙදියේ සිට ඒන්-එග්ලයිම් දක්වා දැල් අතුරන ස්ථාන ඇති වන්නේ ය. එහි මත්ස්‍යයෝ මුහුදේ මත්ස්‍යයන් මෙන් එක එක වර්ගයේ හැටියට මහා ගණනක් සිටිති.</verse>
				<verse number="11">එහෙත්, එහි වගුරුබිම් සහ ගොහොරු බිම්වල වතුර මිරිදිය නොවී ලුණු ලබාගන්න පිණිස හරිනු ලබන්නේ ය.</verse>
				<verse number="12">ගඟ ඉවුරේ දෙපැත්තේ ම සියලු ආකාර පලතුරු වැවෙන්නේ ය. ඒවායේ කොළ වේළෙන්නේ වත්, ඒවායේ පල වරන්නේ වත් නැති ව හැම මාසයේ ම අලුත් පල දරන්නේ ය. මන්ද, ඒවායේ වතුර ශුද්ධස්ථානයෙන් ම නික්ම එන්නේ ය. ඒවායේ පල ආහාර පිණිසත්, ඒවායේ කොළ ඖෂධ පිණිසත් වන්නේ ය”යි කී ය.</verse>
				<verse number="13">මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල් ගෝත්‍ර දොළොසට නුඹලා දේශය බෙදා දිය යුතු මේ සීමා අනුව ය. ජෝසෙප්ට කොටස් දෙකක් ලැබෙන්නේ ය.</verse>
				<verse number="14">නුඹලා අතර සම සම ව දේශය බෙදාගන්නහු ය; මන්ද, නුඹලාගේ පියවරුන්ට එය දෙන හැටියට මාගේ අත එසෙවුවෙමි. එසේ මේ දේශය උරුමයන් පිණිස නුඹලාට ලැබෙන්නේ ය.</verse>
				<verse number="15">“ දේශයේ සීමා මෙසේ ය: උතුරු දිශාවේ මධ්‍යධරණි මුහුදේ සිට සෙදාද්ට පැමිණෙන හෙත්ලොන් මාර්ගයේ තිබෙන ලෙබෝ හමාත් ද බේරෝතා ද</verse>
				<verse number="16">දමස්කයේ සීමාවටත්, හමාත්හි සීමාවටත් අතරේ තිබෙන සිබ්‍රායිම් ද හවුරාන්හි සීමාවේ තිබෙන මධ්‍ය හාශෙර් ද යන ඒවා ය.</verse>
				<verse number="17">මෙසේ මුහුදේ සිට දමස්කයේ උතුරු මායිමේ පිහිටි හශර්-ඒනොන් දක්වා උතුරට හමාත්හි සීමාව ද වේ. උතුරු පැත්ත එය වේ.</verse>
				<verse number="18">“දමස්කයටත්, ගිලියද්ටත් අතර පිහිටි නැගෙනහිර පැත්තේ හවුරාන් දක්වා සීමාවටත්, ඉශ්රායෙල් දේශයටත් අතරේ ජොර්දාන ගඟ ඔස්සේ වන්නේ ය. උතුරු සීමාවේ පටන් නැගෙනහිර මුහුද දක්වා මනින්න. ඒක නැගෙනහිර පැත්ත වේ.</verse>
				<verse number="19">“දකුණු දේශ සීමාව නම්, තාමාර් පටන් මෙරිබොත්-කාදෙෂ්හි ජලයත්, ඉක්බිති මිසර ඔය දිගේ මධ්‍යධරණි මුහුදත් දක්වා තිබේ. දකුණු දිශාවේ දකුණු සීමාව එය වේ.</verse>
				<verse number="20">“බස්නාහිර දේශ සීමාව නම්, මධ්‍යධරණි මුහුද පටන් හමාත් ඉදිරිපිටට පැමිණෙන තුරු මධ්‍යධරණි මුහුද වේ. බස්නාහිර සීමාව එය වේ.</verse>
				<verse number="21">“මේ දේශය ද ඉශ්රායෙල් ගෝත්‍ර ප්‍රකාරයට නුඹලා අතරේ බෙදාගන්න.</verse>
				<verse number="22">නුඹලාටත්, නුඹලා අතරේ වාසය කරන, නුඹලා අතරෙහි දරුවන් ඉපදී සිටින විදේශීන්ටත් උරුමයක් පිණිස පස ඇට දමා බෙදාගන්න. ඔව්හු ඉශ්රායෙල්වරුන් අතරෙහි පුරවැසියන් මෙන් නුඹලා සමඟ සිටිත්වා. නුඹලා සමඟ ඉශ්රායෙල් ගෝත්‍ර අතරෙහි පස ඇට දැමීමෙන් ඔවුන්ට උරුමයක් වන්නේ ය.</verse>
				<verse number="23">වි දේශිකයා වාසය කරන ගෝත්‍රය අතරේ ම ඔහුගේ උරුමය ඔහුට දෙන්න. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”</verse>
			</chapter>
			<chapter number="48">
				<verse number="1">“ගෝත්‍රවල නාම මේවා ය: උතුරෙන් පටන්ගෙන හමාත්ට පැමිණෙන හෙත්ලොන්හි මාර්ගය ද උතුරෙහි හමාත් ඉදිරිපිට දමස්කයේ සීමාවේ පිහිටි හශර්-ඒනාන් දක්වා නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර දක්වා ද දාන්ට එක කොටසක් ය.</verse>
				<verse number="2">දාන්ගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා ආෂේර්ට එක කොටසක් ය.</verse>
				<verse number="3">ආෂේර්ගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා නප්තලීට එක කොටසක් ය.</verse>
				<verse number="4">නප්තලීගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා මනස්සේට එක කොටසක් ය.</verse>
				<verse number="5">මනස්සේගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා එප්‍රායිම්ට එක කොටසක් ය.</verse>
				<verse number="6">එප්‍රායිම්ගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා රූබන්ට එක කොටසක් ය.</verse>
				<verse number="7">රූබන්ගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා ජුදාට එක කොටසක් ය.</verse>
				<verse number="8">“ජුදා දේශ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා නුඹලා වෙන් කළ යුතු විශේෂ කොටස වන්නේ ය. එහි පළල කිලෝමීටර් දොළහමාරක් ද එහි දිග ගෝත්‍රයකට හිමි කොටසට සමාන වූ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා ද වන්නේ ය. ශුද්ධස්ථානය එහි මැද වන්නේ ය.</verse>
				<verse number="9">“නුඹලා එයින් සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු සමිඳාණන් වහන්සේට විශේෂ කොටස කිලෝමීටර් දොළහමාරක් දිග ද කිලෝමීටර් පහක් පළල ද ඇති ව තිබිය යුතු ය.</verse>
				<verse number="10">විශේෂ කොටස පූජකයන්ට අයිති වන්නේ ය. එනම්, උතුරට කිලෝමීටර් දොළහමාරක් ද බස්නාහිරට කිලෝමීටර් පහක් පළල ද නැගෙනහිරට කිලෝමීටර් පහක් පළල ද දකුණු දෙසට කිලෝමීටර් දොළහමාරක් දිග ද ඇති කොටසක් වන්නේ ය. එය මැද සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානය වන්නේ ය.</verse>
				<verse number="11">එය ඉශ්රායෙල් පුත්‍රයන් පව්කර මුළා ව ගිය කල, ලෙවීවරුන් මුළා ව ගියාක් මෙන් මුළා ව නොගොස් මාගේ සේවය පැවැත්වූ, ශාදොක්ගේ පුත්‍රයන් වූ, කැප කරනු ලැබූ, පූජකයන්ට වන්නේ ය.</verse>
				<verse number="12">ලෙවීවරුන්ගේ සීමාව ළඟ එය දේශයේ විශේෂ කොටස අතිශුද්ධ විශේෂ කොටස වන්නේ ය.</verse>
				<verse number="13">පූජකයන්ගේ සීමාවට යාව කිලෝමීටර් දොළහමාරක් දිග ද කිලෝමීටර් පහක් පළල ද ඇති කොටසක් ලෙවීවරුන්ට වන්නේ ය. මුළු දිග කිලෝමීටර් දොළහමාරක් ද පළල කිලෝමීටර් පහක් ද විය යුතු ය.</verse>
				<verse number="14">ඔව්හු එයින් කිසිවක් විකුණන්නට වත්, මාරු කරන්නට වත්, වෙන් කර අහිමි කරන්නට වත් නොයෙදතේවා. මන්ද එය සමිඳාණන් වහන්සේට ශුද්ධ ය.</verse>
				<verse number="15">“කිලෝමීටර් දොළහමාරක් ද පළලින් දෙකහමාරක් ව ද තිබෙන ඉතිරි කොටස ශුද්ධ නොවේ, එය වාසය කිරීමට නුවර සහ තණ බිම පිණිස පොදු කොටසක් වන්නේ ය. නුවර වනාහි එහි මැද වන්නේ ය.</verse>
				<verse number="16">එහි ප්‍රමාණය මෙසේ ය. එය හරි හතරැස් විය යුතු ය. උතුරෙන් මීටර් දෙදාස් දෙසියපණහක් ද දකුණෙන් මීටර් දෙදාස් දෙසියපණහක් ද නැගෙනහිරෙන් මීටර් දෙදාස් දෙසියපණහක් ද බටහිරෙන් මීටර් දෙදාස් දෙසියපණහක් ද බැගින් දිග ය.</verse>
				<verse number="17">නුවර වටේට ම සෑම අතින් ම තණ බිම් තිබිය යුතු ය. ඒවායේ ප්‍රමාණය උතුරට මීටර් එකසිය විසිපහක් ය. දකුණට මීටර් එකසිය විසිපහක් ය. නැගෙනහිරට මීටර් එකසිය විසිපහක් ය. බස්නාහිරට මීටර් එකසිය විසිපහක් ය.</verse>
				<verse number="18">ශුද්ධ, විශේෂ කොටසට යාව දිගින් ඉතිරි වන්නේ නැගෙනහිරට කිලෝමීටර් පහක් ය. බස්නාහිරට කිලෝමීටර් පහක් ය. එය ශුද්ධ විශේෂ කොටස ළඟ වන්නේ ය. ඒ කොටස්වල අස්වැන්න නුවර වැඩ කරන්නන්ට කෑම පිණිස වන්නේ ය.</verse>
				<verse number="19">සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් නුවර වැඩකරන්නෝ එය අස්වද්දවත්වා.</verse>
				<verse number="20">“වෙන් කරන ලද මුළු කොටස කිලෝමීටර් දොළහමාරක් දිග ව, කිලෝමීටර් දොළහමාරක් පළල ව තිබිය යුතු ය. එසේ ශුද්ධ විශේෂ කොටස, නුවර කොටස ඇතුළු ව සතරැස් එකක් කොට වෙන් කරන්න.</verse>
				<verse number="21">“විශේෂ ශුද්ධ කොටසටත්, නුවර කොටසටත් දෙපැත්තෙන් එනම්, විශේෂ කොටසේ කිලෝමීටර් දොළහමාර ළඟ සිට නැගෙනහිර සීමාව දක්වා ද බස්නාහිර දෙසට කිලෝමීටර් දොළහමාර ළඟ සිට බස්නාහිර සීමාව දක්වා ද ගෝත්‍රවල කොටස්වලට සමාන්තර ව ඉතිරි වන පංගුව අධිපතියාට වන්නේ ය. ශුද්ධ විශේෂ කොටස ද මාලිගාවේ ශුද්ධස්ථානය ද එහි මැද වන්නේ ය.</verse>
				<verse number="22">එසේ අධිපතියාට අයිති කොටසේ මැද තිබෙන ලෙවීවරුන්ගේ කොටසේ සිට ද නුවර කොටසේ සිට ද ජුදා වංශයේ සීමාවටත්, බෙන්ජමින් වංශයේ සීමාවටත් අතරේ තිබෙන කොටස් අධිපතියාට වන්නේ ය.</verse>
				<verse number="23">“ඉතිරි ගෝත්‍රවලින් නම්, නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා බෙන්ජමින් වංශයට කොටසක් වේ.</verse>
				<verse number="24">බෙන්ජමින්ගේ වංශයේ සීමාව ළඟට නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා සිමියොන්ගේ වංශයට කොටසක් වේ.</verse>
				<verse number="25">සිමියොන්ගේ වංශයේ දේශ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා ඉස්සාකර්ට කොටසක් වේ.</verse>
				<verse number="26">ඉස්සාකර්ගේ වංශයේ දේශ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා සාබුලොන්ට කොටසක් වේ.</verse>
				<verse number="27">සාබුලොන්ගේ වංශයේ දේශ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා ගාද්ට කොටසක් වේ.</verse>
				<verse number="28">“ගාද්ගේ වංශයේ දේශ සීමාව ළඟ දකුණු දිශාවට දකුණු පැත්තේ සීමාව නම්, තාමාර් පටන් මෙරිබත්-කාදෙශ්හි ජලයත්, මිසර ඔයත්, මධ්‍යධරණි මුහුදත් දක්වා තිබෙන්නේ ය.</verse>
				<verse number="29">“ඉශ්රායෙල් ගෝත්‍රවලට උරුමයක් පිණිස නුඹලා පස ඇට දමා බෙදිය යුතු දේශය එය වේ. ඔවුන්ගේ කොටස් ඒවා ය.” මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.</verse>
				<verse number="30">“නුවරින් පිටතට යන තැන් මෙසේ ය. මීටර් දෙදාස් දෙසියපණහක් දිග ඇති උතුරු පැත්තෙහි ඉශ්රායෙල් ගෝත්‍රවල නාම ප්‍රකාරයට නම් ඇති ව, නුවර දොරටු තුනක් උතුරට වන්නේ ය.</verse>
				<verse number="31">රූබන්ගේ දොරටුව එකක් ය; ජුදාගේ දොරටුව එකක් ය; ලෙවීගේ දොරටුව එකක් ය.</verse>
				<verse number="32">මීටර් දෙදාස් දෙසියපණහක් දිග ඇති නැගෙනහිර පැත්තෙහි දොරටු තුනක් වන්නේ ය. ජෝසෙප්ගේ දොරටුව එකක් ය; බෙන්ජමින්ගේ දොරටුව එකක් ය; දාන්ගේ දොරටුව එකක් ය.</verse>
				<verse number="33">මීටර් දෙදාස් දෙසියපණහක් දිග ඇති දකුණු පැත්තෙහි දොරටු තුනක් වන්නේ ය. සිමියොන්ගේ දොරටුව එකක් ය; ඉස්සාකර්ගේ දොරටුව එකක් ය; සාබුලොන්ගේ දොරටුව එකක් ය.</verse>
				<verse number="34">මීටර් දෙදාස් දෙසියපණහක් දිග ඇති බස්නාහිර පැත්තෙහි දොරටු තුනක් වන්නේ ය. ගාද්ගේ දොරටුව එකක් ය; ආෂෙර්ගේ දොරටුව එකක් ය; නප්තලීගේ දොරටුව එකක් ය.</verse>
				<verse number="35">වට ප්‍රමාණය මීටර් දහසක් වේ. ඒ දවසේ පටන් නුවර නාමය ‘සමිඳාණන් වහන්සේ එහි ය’ යන අරුත ඇති ජෙහෝවා-ෂාමා වන්නේ ය.”</verse>
			</chapter>
		</book>
		<book number="27">
			<chapter number="1">
				<verse number="1">ජුදාහි රජ වූ ජෙහෝයාකිම්ගේ රාජ්‍ය කාලයෙහි තුන් වන අවුරුද්දේ දී බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් රජ ජෙරුසලම ආක්‍රමණය කොට එය වටලාගත්තේ ය.</verse>
				<verse number="2">සමිඳාණන් වහන්සේ ඔහුගේ අතට ජුදාවේ රජ වූ ජෙහෝයාකිම් පාවා දුන් සේක; ඔහු සමඟ දෙවියන් වහන්සේගේ මාලිගාවේ බඩු බාහිරාදිය සමහරක් ද පාවා දුන් සේක. නෙබුකද්නෙශර් ඒ බඩු බාහිරාදිය ශීනාර් දේශයේ තමාගේ ම දෙවියන්ගේ දේවාලයට ගෙන ගොස් දේවාල භාණ්ඩාගාරයේ ඒවා තැන්පත් කෙළේ ය.</verse>
				<verse number="3">රජතුමා අශ්පෙනස් නම් තමාගේ ප්‍රධාන නපුංසකයා අමතා, ඉශ්රායෙල් සෙනඟ අතරෙන් රාජ වංශයට හා රදළ පෙළපතට අයත් තරුණයන් ස්වල්ප දෙනෙකු ගෙනෙන්නට ඔහුට නියම කෙළේ ය.</verse>
				<verse number="4">ඔවුන් ශරීරාබාධ නැති, ශෝභා සම්පන්න, සිප්සතරෙහි සමත්, බොහෝ ඇසූ පිරූ තැන් ඇති, විචක්ෂණ, රාජ මාලිගාවේ සේවා කරන්නට සුදුසුකම් ඇති, අය විය යුතු යයි ද ඔවුන් ගෙනා පසු, කල්දිවරුන්ගේ භාෂාවත් සාහිත්‍යයත් ඔවුන්ට ඉගැන්විය යුතු යයි ද රජතුමා අශ්පෙනස්ට නියම කෙළේ ය.</verse>
				<verse number="5">රජ තෙමේ තමා වළඳන භෝජනවලින් ද තමා පානය කරන මිදියුසින් ද කොටසක් දවස් පතා ඔවුන්ට දෙන්නටත් නියම කෙළේ ය. ඔවුන් තුන් අවුරුද්දක් පුහුණුව ලැබූ පසු රාජ සේවයට ඇතුළත් කළ යුතු ව තිබිණි.</verse>
				<verse number="6">තෝරාගනු ලැබූ අය දානියෙල් ද හනනියා ද මිෂායෙල් ද අසරියා ද යන නම් ඇති ජුදා ජාතික තරුණයෝ වූ හ.</verse>
				<verse number="7">එහෙත්, ප්‍රධාන නපුංසකයා ඔවුන්ට වෙනත් නම් දුන්නේ ය; දානියෙල්ට බෙල්ටෙෂෙසර් කියා ද හනනියාට ෂද්‍රක් කියා ද මිෂායෙල්ට මේෂක් කියා ද අසරියාට අබෙද්නෙගෝ කියා ද නම් තැබුවේ ය.</verse>
				<verse number="8">දානියෙල් තෙමේ රජුගේ භෝජනයෙන් වත්, ඔහු බොන මිදියුසෙන් වත් තමා අපවිත්‍ර නොවී සිටින පිණිස අධිෂ්ඨාන කරගෙන, එසේ අපවිත්‍ර නොවී සිටීමට ප්‍රධාන නපුංසකයාගෙන් අවසර අයැද සිටියේ ය.</verse>
				<verse number="9">දෙවියන් වහන්සේ දානියෙල්ට ප්‍රධාන නපුංසකයාගෙන් කරුණාවත්, අනුකම්පාවත් ලැබෙන්නට සැලැස්සූ සේක.</verse>
				<verse number="10">ප්‍රධාන නපුංසකයා දානියෙල්ට මෙසේ කී ය: “ඔබේ කෑම ද බීම ද නියම කළ මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට මම බිය වෙමි. යම් හෙයකින් ඔබේ වයසේ තරුණයන්ට වඩා ඔබේ මුහුණ මැලවී ඇති බව එතුමාට පෙනී ගියොත්, මාගේ හිස ගසාදැමීමෙන් මා අනතුරට භාජනය විය හැකි ය.”</verse>
				<verse number="11">එවිට දානියෙල් තමා ද හනනියා ද මිෂායෙල් ද අසරියා ද භාර ව සිටීමට ප්‍රධාන නපුංසකයා පත් කළ භාරකාරයාට කතා කොට,</verse>
				<verse number="12">“ඔබේ මෙහෙකරුවන් වන අපට කෑමට එළවළු ද බීමට වතුර ද දී දස දිනක් ඇතුළත දී කුමක් වන්නේ දැ යි සෝදිසි කර බලන්න;</verse>
				<verse number="13">ඉන්පසු අපේ පෙනීම ද රජතුමාගේ භෝජන අනුභව කරන තරුණයන්ගේ පෙනීම ද සසඳා බලා, ඔබට පෙනී යන හැටියට ඔබේ මෙහෙකරුවන්ට සුදුස්සක් කළ මැනවැ”යි කී ය.</verse>
				<verse number="14">ඔහු ඒ යෝජනාවට එකඟ වී දස දිනක් තුළ ඔවුන් සෝදිසි කර බැලුවේ ය.</verse>
				<verse number="15">දස දිනකට පසු ඒ සතරදෙනා රජතුමා නියම කළ භෝජන අනුභව කළ තරුණයන්ට වඩා හොඳ පෙනීමෙන් හා සනීප ශක්තියෙන් සිටින බව පෙනී ගියේ ය.</verse>
				<verse number="16">එබැවින් භාරකාරයා ඉන්පසු, ඔවුන්ට කන්න නියම ව තිබූ ආහාර ද බොන්න නියම ව තිබූ මිදියුස ද නතර කර එළවළු පමණක් ඔවුන්ට දුන්නේ ය.</verse>
				<verse number="17">ඒ තරුණයන් සතරදෙනාට දෙවියන් වහන්සේ සාහිත්‍ය විෂයය හා ශිල්ප ශාස්ත්‍රය පිළිබඳ මනා දැනුමක් හා අවබෝධයක් දුන් සේක. සියලු ආකාර දර්ශන හා ස්වප්න තේරුම් කර දීමේ වරම ද දානියෙල්ට තිබිණි.</verse>
				<verse number="18">තරුණයන් පුහුණු කිරීමට නියම ව තිබූ කාලය හමාර වූ විට, ඔව්හු සියලු දෙන ප්‍රධාන නපුංසකයා විසින් නෙබුකද්නෙශර් රජු ඉදිරියට ගෙනෙන ලදී.</verse>
				<verse number="19">රජතුමා ඔවුන් සමඟ කතා කෙළේ ය. ඔවුන් සියලු දෙනා අතුරෙන් දානියෙල්ටත්, හනනියාටත්, මිෂායෙල්ටත්, අසරියාටත් සමාන කළ හැකි අන් කිසිවෙක් නොවූ හ.</verse>
				<verse number="20">එබැවින් ඔව්හු රාජ සේවයට ඇතුළත් කරන ලද හ. තේරුම් පැහැදුම් ඇති ව විමසිය යුතු යම් යම් කරුණු සම්බන්ධයෙන් රජතුමා ඔවුන්ගෙන් විමසූ විට, මුළු රාජ්‍යයේ සිටි සියලු මන්ත්‍රකාරයන්ටත්, අනවිනකාරයන්ටත් වඩා දස ගුණයකින් ඔවුන් සමත් බව එතුමාට පෙනී ගියේ ය.</verse>
				<verse number="21">දානියෙල්, සයිරස් රජුගේ පළමු වන අවුරුද්ද දක්වා එහි සිටියේ ය.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">නෙබුකද්නෙශර් රජකම් කරන දෙ වන අවුරුද්දේ දී ඔහු ස්වප්න දුටුවේ ය. එයින් ඔහුගේ සිත බොහෝ සේ කැළඹුණේ ය; නිදාගන්න වත් ඔහුට නොහැකි විය.</verse>
				<verse number="2">එවිට රජු දුටු ස්වප්නය ඔහුට දන්වන පිණිස මන්ත්‍රකාරයන් ද අනවිනකාරයන් ද මායාකාරයන් ද කල්දිවරුන් ද කැඳවන්න රජතුමා අණ කෙළේ ය.</verse>
				<verse number="3">ඔව්හු අවුත් රජතුමා ඉදිරියේ පෙනී සිටියෝ ය. රජතුමා ඔවුන් අමතා, “මම ස්වප්නයක් දිටිමි. ඒ ස්වප්නය කුමක් දැ යි දැනගැනීමට මාගේ සිත කැළඹී ඇතැ”යි ඔවුන්ට කී ය.</verse>
				<verse number="4">එවිට කල්දිවරු අරමීය භාෂාවෙන් කතා කරමින්, “රජතුමනි, චිරාත් කාලයක් වැජඹෙත් වා! ඔබේ මෙහෙකරුවන් වන අපට ඔබ දුටු ස්වප්නය කුමක් දැ යි කිව මැනව, එවිට එහි තේරුම අපි පහදා දෙන්නෙමු”යි කී හ.</verse>
				<verse number="5">රජ තෙමේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මාගේ අධිෂ්ඨානය මෙය වේ. ස්වප්නයත්, එහි තේරුමත් දෙක ම ඔබ මට දැන්විය යුතු යි; නොදැන්නුවොත් ඔබ කැබෙලි කොටදමා ඔබේ ගෙවල් කසළ ගොඩවල් කරන්නෙමි.</verse>
				<verse number="6">එහෙත්, ස්වප්නය ද එහි තේරුම ද ඔබ මට පෙන්වා දුන්නොත්, ඔබට තෑගිබෝග ද ගරු-නම්බු ද ලැබෙනු ඇත. ඒ නිසා ස්වප්නය ද එහි තේරුම ද මට පෙන්වන්නැ”යි කී ය.</verse>
				<verse number="7">ඔව්හු දෙ වන වර උත්තර දෙමින්, “රජතුමා තමාගේ මෙහෙකරුවන්ට ස්වප්නය කුමක් දැ යි කියාවා; එවිට අපි එහි තේරුම දන්වන්නෙමු”යි කී හ.</verse>
				<verse number="8">රජතුමා පිළිතුරු දෙමින්, “මාගේ අධිෂ්ඨානය ඔබට ප්‍රකාශ කර තිබෙන බැවින්, ඔබ කල් ගන්න හදන බව මට හොඳට ම පැහැදිලි යි.</verse>
				<verse number="9">ඔබ මා දුටු ස්වප්නය කුමක් දැ යි නොකීවොත්, ඔබට ඇත්තේ එක ම එක ඉරණම යයි නැවත මතක් කරමි. ඔබ මට අමූලික බොරු කියා මෙය කල් දමන්න එකඟ වී ඇති බව මට පෙනේ. එබැවින් ස්වප්නය කුමක් දැ යි මට කියන්න. එවිට එහි තේරුම පහදා දෙන්න ඔබට පුළුවන් දැ යි මට දැනගත හැකි ය”යි කී ය.</verse>
				<verse number="10">ඔව්හු පිළිතුරු දෙමින්, “රජුගේ ප්‍රශ්නය නිරාකරණය කිරීමට හැකි සමතෙක් මේ මුළු පොළෝ තලයෙහි ඇත්තේ නැත. ඇරත්, කිසි ම රජෙක් හෝ අධිපතියෙක් හෝ ආණ්ඩුකාරයෙක් හෝ මෙවැනි ඉල්ලීමක් මන්ත්‍රකාරයෙකුගෙන් වත් අනවිනකාරයෙකුගෙන් වත්, දෛවඥයෙකුගෙන් වත් කර නැත.</verse>
				<verse number="11">රජතුමා අපෙන් ඉල්ලන්නේ නොකළ හැකි දෙයකි. මිනිස් ලොවින් එපිට සිටින දෙවිවරුන්ට මිස අන් කිසිවෙකුට රජතුමාට එය පෙන්වා දිය නොහැකි ය”යි කී හ.</verse>
				<verse number="12">එවිට රජතුමා අතිශයෙන් කෝපාවිෂ්ඨ වී බබිලෝනියේ සියලු ශාස්ත්‍රවන්තයන් මරාදමන්න නියම කෙළේ.</verse>
				<verse number="13">ශාස්ත්‍රවන්තයන් මරන ලෙස නියෝගයක් ද නිකුත් කරන ලදී. ඒ නියමයේ පරිදි ඔව්හු දානියෙල් සහ ඔහුගේ සහායකයන් ද මරන්නට සෙවුවෝ ය.</verse>
				<verse number="14">බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් මරන පිණිස පිටත් ව ගිය අරියොක් නම් රජුගේ වධකයාගේ ප්‍රධානියාට දානියෙල් ස්ථානෝචිත සිහි නුවණින් කතා කර,</verse>
				<verse number="15">“මෙතරම් තද නියෝගයක් රජතුමා පනවා ඇත්තේ මන්දැ”යි ඇසී ය. අරියොක් ඒ කාරණය දානියෙල්ට විස්තර කර දුන්නේ ය.</verse>
				<verse number="16">එවිට දානියෙල් රජු වෙත ගොස්, ස්වප්නයේ තේරුම පහදා දෙන පිණිස තමාට කල් දෙන හැටියට ඉල්ලුවේ ය.</verse>
				<verse number="17">එකල දානියෙල් ගෙදර ගොස් තමාගේ සහායකයන් වන හනනියාටත්, මිෂායෙල්ටත්, අසරියාටත් කරුණු සැළ කොට,</verse>
				<verse number="18">ඔවුන් බබිලෝනියේ ශාස්ත්‍රවන්තයින් සමග විනාශ නො වන පිණිස, ස්වර්ගයේ දෙවියන් වහන්සේ ඔවුන්ට අනුකම්පා කොට, ඒ අබිරහස දන්වන ලෙස අයැදින්නට කීවේ ය.</verse>
				<verse number="19">එදා රාත්‍රියේ දර්ශනයකින් ඒ අබිරහස දානියෙල්ට එළිදරව් විය. දානියෙල් ස්වර්ගයේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින්</verse>
				<verse number="20">මෙසේ කීවේ ය: “දෙවිඳුන්ගේ නාමයට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා වේ වා! මන්ද, ප්‍රඥාවත්, බලයත් එතුමන් සතු ය.</verse>
				<verse number="21">කාලයන් ද අවස්ථාවන් ද වෙනස් කරන්නේත්, රජවරුන් පහ කරන්නේත්, පත් කරන්නේත්, පැණවතුන්ට දැනුම හා නැණවතුන්ට නුවණ දෙන්නේත් එතුමාණෝ ය.</verse>
				<verse number="22">ගැඹුරු වූ අබිරහස් වූ දේ එළි කරන්නේත්, අඳුරේ ඇති දේ දන්නේත් එතුමාණෝ ය. ආලෝකය උන් වහන්සේ සිසාරා ඇත.</verse>
				<verse number="23">මාගේ පියවරුන්ගේ දෙවිඳුනි, මා හට ඥාන ශක්තිය දුන් බැවින් ද අපේ යැදුමට සවන් දී රජුගේ පැනය ඔබ අපට පහදා දුන් බැවින් ද ඔබට මම තුති පැසසුම් කරමි.”</verse>
				<verse number="24">එවිට දානියෙල් බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් නැසීමට රජතුමා පත් කළ අරියොක් වෙත ගොස්, “බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් විනාශ නොකරන්න; රජ්ජුරුවන් ඉදිරියට මා පමුණුවන්න; ස්වප්නයේ තේරුම මම රජතුමාට පෙන්වන්නෙමි”යි කී ය.</verse>
				<verse number="25">එකල අරියොක් තෙමේ රජු ඉදිරියට දානියෙල් හනික කැඳවාගෙන ගොස්, “ජුදා රටෙන් අල්ලාගෙන ආ අය අතරෙහි, රජතුමාගේ සිහිනයේ තේරුම කියන්න පුළුවන් කෙනෙකු මට සම්බ වී ය”යි කී ය.</verse>
				<verse number="26">රජතුමා බෙල්ටෙෂෙසර් නම් දානියෙල් අමතා, “මා දුටු ස්වප්නයත්, එහි තේරුමත් මට කියා දෙන්න ඔබට පුළුවන් දැ”යි ඇසී ය.</verse>
				<verse number="27">දානියෙල් රජුට පිළිතුරු දෙමින් මෙසේ කී ය: “රජතුමා විමසා ඇති අබිරහස පහදාදීමට ශාස්ත්‍රවන්තයන්ටත්, අනවිනකාරයන්ට වත්, මන්ත්‍රකාරයන්ට වත්, පේන කියන්නන්ට වත් නොහැකි ය.</verse>
				<verse number="28">එහෙත්, රහස් එළිදරව් කරන දෙවි කෙනෙක් ස්වර්ගයෙහි සිටින සේක. උන් වහන්සේ අනාගතයේ දී සිදු වන්න යන දේ නෙබුකද්නෙශර් රජුට හෙළි කර තිබේ. ඔබ යහනෙහි සැතපී සිටින විට ඔබේ හිසට නැඟුණු ස්වප්නය හා දර්ශනය මෙසේ ය:</verse>
				<verse number="29">“රජතුමනි, ඔබ යහනෙහි සැතපී සිටින විට ඔබට ඇති වූයේ, අනාගතයේ දී සිදු වන්න යන දේ පිළිබඳ සිතුවිලි ය. රහස් එළිදරව් කරන තැනැන් වහන්සේ සිදු වන්න යන දේ ඔබට දන්වා තිබේ.</verse>
				<verse number="30">මේ අබිරහස මටත් එළිදරව් වී ඇත්තේ ජීවත් වී සිටින සියල්ලන්ට වඩා මට ප්‍රඥාව තිබෙන නිසා නොව, ඔබේ ස්වප්නයේ තේරුම ඔබට දන්වන පිණිසත්, ඔබේ සිතේ ඇති සිතිවිලි ඔබ තේරුම්ගන්න පිණිසත් ය.”</verse>
				<verse number="31">“රජතුමනි, ඔබ අතිවිශාල රූපයක් දුටුවෙහි ය. ඒ විශාල දීප්තිමත් රූපය ඔබ ඉදිරියෙහි තිබුණේ ය. එහි පෙනීම භයංකාර ය.</verse>
				<verse number="32">ඒ රූපයේ හිස දඹ රනින් ද ළය සහ අත් රිදීයෙන් ද බඩ සහ කලවා ලෝකඩවලින් ද</verse>
				<verse number="33">කෙණ්ඩා යකඩෙන් ද පාදවල කොටසක් යකඩෙන් ද කොටසක් මැටියෙන් ද කරන ලදී.</verse>
				<verse number="34">ඔබ බලා සිටිය දී මිනිස් අතින් නොකපන ලද ගලක් කන්දෙන් ගැලවී අවුත් රූපයේ යකඩ සහ මැටි පාදවල වැදී ඒවා පොඩි කරදැමී ය.</verse>
				<verse number="35">එවිට යකඩ ද මැටි ද ලෝකඩ ද රිදී ද රත්රන් ද එකට පොඩි වී ගිම්හාන කාලයේ කමතේ බොල් මෙන් සුළඟට ගසාගෙන ගියේ ය. ඒවායේ ශේෂමාත්‍රයක් වත් ඉතුරු නො වී ය. රූපයට වැදුණු ගල විශාල පර්වතයක් විය. එයින් පොළොව පිරී ගියේ ය.</verse>
				<verse number="36">“එය ය, ඔබ දුටු ස්වප්න ය. දැන් එහි තේරුම රජ්ජුරුවන්ට මම කියා දෙන්නෙමි.</verse>
				<verse number="37">රජවරුන්ගේ රජ වූ රජතුමනි, ස්වර්ගයේ දෙවියන් වහන්සේ ඔබට රාජ්‍යය ද බලය ද පරාක්‍රමය ද තේජස ද දී තිබේ.</verse>
				<verse number="38">සෑම තැන ම වසන මිනිසුන් ද මෘගයන් ද ආකාශ පක්ෂීන් ද ඔබ අතට භාර දී ඔව්හු සියල්ලෝ ඔබේ පාලනයට යටත් කරන ලද හ. රත්රන් හිස නම් ඔබ ය.</verse>
				<verse number="39">ඔබට පසු ඔබේ රාජ්‍යයට වඩා පහත් රාජ්‍යයක් ද ඉන්පසු ලෝකඩවලින් අදහස් කෙරෙන, ලොවපුරා පාලනය පැතිර පවත්නා තුන් වන රාජ්‍යයක් ද නැඟී එන්නේ ය.</verse>
				<verse number="40">යකඩ මෙන් සවි ශක්තිය ඇති රාජ්‍යයක් සතර වන වර ඇති වන්නේ ය. යකඩ සියල්ල කඩා බිඳ සුණු විසුණු කරන්නාක් මෙන් ඒ රාජ්‍යය අන් සියල්ල කඩා බිඳ සුණු විසුණු කරන්නේ ය.</verse>
				<verse number="41">ඔබ දුටු පාද හා පා ඇඟිලිවලින් දැක්වෙන්නේ, කොටසක් කුම්භකාරයාගේ මැටියෙන් ද කොටසක් යකඩෙන් ද යුක්ත ව ඒ රාජ්‍යය බෙදී යන බව ය. එහෙත්, යකඩ මැටි හා මිශ්‍ර ව තිබෙනු ඔබ දුටු පරිදි ඒ රාජ්‍යයේ අයෝමය ශක්තියත් තරමක් දුරට පවතින්නේ ය.</verse>
				<verse number="42">පා ඇඟිලිවලින් කොටසක් යකඩෙන් ද කොටසක් මැටියෙන් ද තිබුණාක් මෙන් ඒ රාජ්‍යයෙන් කොටසක් ශක්තිමත් වන්නේ ය; කොටසක් බිඳෙනසුලු වන්නේ ය.</verse>
				<verse number="43">යකඩ මැටි මිශ්‍ර ව තිබෙනු ඔබ දුටු ලෙස මනුෂ්‍යයෝ විවාහයෙන් මිශ්‍ර වන්නෝ ය. එහෙත්, යකඩ හා මැටි මිශ්‍ර නොවන සේ ඔව්හු එකට බැඳී නොසිටිති.</verse>
				<verse number="44">ඒ රජවරුන්ගේ කාලවල දී ස්වර්ගයේ දෙවියන් වහන්සේ කිසි කලෙක නැති නොවන රාජ්‍යයක් පිහිටුවන සේක. ඒ රාජ්‍යය අන් ජාතියකට යටත් නොවන්නේ ය. එය සියලු රාජ්‍යයන් සුණු විසුණු කරදමනු ඇත. එය ද සදාකාලයට ම පවතින්නේ ය.</verse>
				<verse number="45">අතින් නොකැපූ ගලක් කන්දෙන් ගැලවී අවුත් යකඩ ද ලෝකඩ ද මැටි ද රිදී ද රත්රන් ද පොඩි කරදමනු ඔබ දුටු ලෙස, එය ඒ සියලු රාජ්‍යයන් පොඩි කර නැති කරන්නේ ය. ඔබ දුටු දර්ශනයේ තේරුම එය වේ. මහෝත්තම දෙවියන් වහන්සේ මතු සිද්ධ වන්නට යන දේ රජුට දන්වා තිබේ. ස්වප්නය සැබෑ ය. එහි තේරුම නොඅනුමාන ය.”</verse>
				<verse number="46">එකල නෙබුකද්නෙශර් මුණින් වැටී, දානියෙල්ට වැඳ, ඔහුට පූජාවක් ඔප්පු කරන්නට ද සුවඳ දුම් අල්ලන්නට ද අණ කෙළේ ය.</verse>
				<verse number="47">රජතුමා දානියෙල්ට කතා කොට, “නුඹට රහස එළිදරව් කිරීමට හැකි වූයේ, සැබැවින් ම ඔබේ දෙවියන් වහන්සේ දේවාතිදේව රාජාතිරාජ වූ අබිරහස් එළිදරව් කරන දෙවියන් වහන්සේ වන බැවිනි”යි කී ය.</verse>
				<verse number="48">රජ තෙමේ දානියෙල් උසස් නිලයකට පත්කොට, අනේක විධ අගනා තෑගිබෝග ඔහුට දී, මුළු බබිලෝනි පළාතේ ආණ්ඩුකාරයා ද බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් කෙරෙහි ප්‍රධාන අධිපතියා ද වශයෙන් පත් කෙළේ ය.</verse>
				<verse number="49">දානියෙල්ගේ ඉල්ලීම පිට රජතුමා ෂද්‍රක් ද මේෂක් ද අබෙද්නෙගෝ ද බබිලෝනියේ පළාත් පරිපාලන කටයුතු සඳහා පත් කෙළේ ය. දානියෙල් තෙමේ රජ වාසලේ ම විසී ය.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">නෙබුකද්නෙශර් රජ මීටර් විසිහතක් උස මීටර් තුනක් පළල රන් රූපයක් සාදවා, බබිලෝනි පළාතේ දූරා නම් සමභූමියේ එය පිහිටෙව්වේ ය.</verse>
				<verse number="2">තමා පිහිටෙවූ ඒ රූපය කැප කරන පිණිස, දිශාධිපතීන්ට ද අධිපතීන්ට ද ආණ්ඩුකාරයන්ට ද විනිශ්චයකාරයන්ට ද භාණ්ඩාගාරිකයන්ට ද මන්ත්‍රීවරුන්ට ද නීතිඥයන්ට ද පළාත්වල සියලු මුලාදෑනීන්ට ද රැස් වන ලෙස රජතුමා නියෝග කෙළේ ය.</verse>
				<verse number="3">ඔවුන් සියලු දෙනා පැමිණ රන් රූපය ඉදිරියෙහි සිටියෝ ය.</verse>
				<verse number="4">එවිට, රාජ ප්‍රකාශකයා මහ හඬින්, “විවිධ භාෂා කතා කරන, සියලු ජාතීන්ගෙන් යුත් ජනයෙනි, මේ රාජාඥවට සවන් දෙන්න.</verse>
				<verse number="5">හොරණෑවේ ද නළාවේ ද වීණාවේ ද මහා වීණාවේ ද කුඩා වීණාවේ ද මිහිරි නළාවේ ද සියලු තූර්ය භාණ්ඩවල ද ශබ්දය ඔබට ඇසෙන විට, දණින් වැටී නෙබුකද්නෙශර් රජතුමා පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාර කරන්න රජතුමා අණ කොට ඇත.</verse>
				<verse number="6">බිම වැටී නමස්කාර නොකරන කවුරු නමුත්, එවේලෙහි ම ඇවිලෙන ගිනි උදුනක් මැදට හෙළනු ලබන්නේ ය”යි කීවේ ය.</verse>
				<verse number="7">ඒ අණ පරිදි, හොරණෑවේ ද නළාවේ ද වීණාවේ ද මහා වීණාවේ ද කුඩා වීණාවේ ද මිහිරි නළාවේ ද සියලු ආකාර තූර්ය භාණ්ඩවල ද ශබ්දය ඇසුණු වහා ම, විවිධ භාෂා කතා කරන, සියලු ජාතීන්ගෙන් යුත් ජනයා බිම වැටී නෙබුකද්නෙශර් රජු පිහිටෙවූ රන් රූපයට නමස්කාර කළහ.</verse>
				<verse number="8">ඒ අවස්ථාවේ දී කල්දිවරු සමහර දෙනෙක් ඉදිරිපත් වී ජුදෙව්වරුන්ට විරුද්ධ ව චෝදනාවක් කළහ.</verse>
				<verse number="9">ඔව්හු නෙබුකද්නෙශර් රජුට මෙසේ කී හ:</verse>
				<verse number="10">“රජතුමනි, චිරාත් කාලයක් වැජඹෙත් වා! හොරණෑවේ ද නළාවේ ද වීණාවේ ද මහා වීණාවේ ද කුඩා වීණාවේ ද මිහිරි නළාවේ ද සියලු ආකාර තූර්ය භාණ්ඩවල ද ශබ්දය ඇසෙන සියල්ලන් බිම වැටී රන් රූපයට නමස්කාර කළ යුතු ය කියා ද</verse>
				<verse number="11">එසේ බිම වැටී නමස්කාර නොකරන කවරෙකු නමුත්, ඇවිලෙන ගිනි උදුනක් මැදට හෙළිය යුතු ය කියා ද ඔබතුමා ආඥාවක් පණවා ඇත.</verse>
				<verse number="12">එහෙත්, බබිලෝනි පළාත පාලනය කිරීමට ඔබ පත් කළ ජුදෙව්වරුන් වන ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ යන තිදෙනා ඔබේ අණට කීකරු නොවෙති. ඔවුන් ඔබේ දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන්නේ වත්, ඔබ පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාර කරන්නේ වත් නැත.”</verse>
				<verse number="13">ඒ ඇසූ නෙබුකද්නෙශර් රජ ක්‍රෝධයෙන් දැවෙමින්, ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ ගෙන එන්න අණ කෙළේ ය. එවිට ඔව්හු ඒ තිදෙනා රජු ඉදිරියට ගෙනාහ.</verse>
				<verse number="14">නෙබුකද්නෙශර් ඔවුන් අමතා මෙසේ කී ය: “ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ, ඔබ මාගේ දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන්නේ වත්, මා පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාර කරන්නේ වත් නැතැ යි කියන්නේ ඇත්ත ද?</verse>
				<verse number="15">හොරණෑවේ ද නළාවේ ද වීණාවේ ද මහා වීණාවේ ද කුඩා වීණාවේ ද මිහිරි නළාවේ ද සියලු ආකාර තූර්ය භාණ්ඩවල ද ශබ්දය ඇසෙන විට බිම වැටී මා සාදා තිබෙන රූපයට නමස්කාර කරන්නට ඔබ සූදානම් ද? එසේ නම් යහපති; නැත්නම්, රන් රූපයට ඔබ නමස්කාර නොකළොත්, එකෙණෙහි ම ඇවිලෙන ගිනි උදුනක් මැදට ඔබ හෙළනු ලබනු ඇත. එවිට මාගේ අත්වලින් ඔබ ගළවන දෙවියෝ කවුරු ද කියා බලමු.”</verse>
				<verse number="16">ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ රජතුමාට පිළිතුරු දෙමින් මෙසේ කී හ: “රජතුමනි, ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දීමට අපට වුවමනා නැත.</verse>
				<verse number="17">රජතුමනි, ඇවිලෙන ගිනි උදුනෙන් අප ගළවාගන්නට පුළුවන් දෙවි කෙනෙක් සිටිත් නම්, ඒ අප වැඳුම්පිදුම් කරන දෙවියන් වහන්සේ ම ය. ඔබේ අතින් උන් වහන්සේ අප ගළවන සේක.</verse>
				<verse number="18">රජතුමනි, උන් වහන්සේ එසේ නොකළත්, අප ඔබේ දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන්නේ වත්, ඔබ පිහිටුවා ඇති රන් රූපයට නමස්කාර කරන්නේ වත් නැති බව ඔබට දන්වන්නට කැමැත්තෙමු.”</verse>
				<verse number="19">ඒ ඇසූ නෙබුකද්නෙශර් අතිශයෙන් කෝපාවිෂ්ට විය. ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ දෙස ඔහුගේ මුහුණේ බැල්ම වෙනස් වී ගිනි උදුන සාමාන්‍ය ප්‍රමාණයට වඩා සත් ගුණයක් රත් කරන්නට නියම කෙළේ ය.</verse>
				<verse number="20">ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ බැඳ, ඇවිලෙන ගිනි උදුනට හෙළන්නට ඔහු තමාගේ සේනාවේ ශක්ති සම්පන්න අයට අණ කෙළේ ය.</verse>
				<verse number="21">ඔව්හු ඒ තිදෙනා ඔවුන් ඇඳ සිටි සළුව, කබාය, හිස වැස්ම යනාදී සියලු ඇඳුම් පිටින් ම බැඳ ඇවිලෙන ගිනි උදුන මැදට හෙළූ හ.</verse>
				<verse number="22">රජ්ජුරුවන්ගේ නියමය වහා ඉටු කළ යුතු ව තිබුණු බැවින් ද ගිනි උදුන ඉතා රත් ව තිබුණු බැවින් ද ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ ගෙන ගිය අය පිටතට විහිදී ආ ගිනි දලුවලින් දැවී මළෝ ය.</verse>
				<verse number="23">ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ යන තිදෙනා බැමි පිටින් ම ගිනි උදුන මැදට වැටුණෝ ය.</verse>
				<verse number="24">නෙබුකද්නෙශර් රජ පුදුමයට පත් වී, වහා නැඟිට මන්ත්‍රීවරුන් අමතා, “අප බැඳ ගින්නට හෙළුවේ මිනිස්සු තුන්දෙනෙක් නොවෙත් දැ”යි ඇසී ය. “එසේ ය, රජතුමනි” කියා ඔව්හු පිළිතුරු දුන්හ.</verse>
				<verse number="25">එවිට රජතුමා, “අන්න, මිනිසුන් සතරදෙනෙකු සිටිනු මට පෙනේ, කිසි පීඩාවක් නැති ව ඔව්හු ගින්න මැද ඇවිදිති. සතරවැනියා පෙනුමෙන් දේව පුත්‍රයෙකු වැනි ය”යි කී ය.</verse>
				<verse number="26">එසේ කියා ඔහු ඇවිලෙන ගිනි උදුනේ දොරකඩට ළං වී, “මහෝත්තම දෙවියන් වහන්සේගේ සේවකයන් වන ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ පිටතට එන්න, මෙහි එන්නැ”යි කී ය. එවිට ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ ගින්න මැද සිට පිටතට ආහ.</verse>
				<verse number="27">දිශාධිපතීහු ද අධිපතියෝ ද ආණ්ඩුකාරයෝ ද රජුගේ මන්ත්‍රීවරු ද ඔවුන් වටේ රැස් ව, ඒ තිදෙනාගේ ශරීරවලට ගින්නෙන් කිසි පීඩාවක් නුවූ බවත්, ඔවුන්ගේ කෙස්ගහක් වත්, පිළිස්සී නැති බවත්, ඇඳුම්වලට ගින්න වැදී නැති බවත්, ඔවුන්ගේ ඇඟපතේ ගිනි ගඳක් වත් නොවූ බවත් දුටුවෝ ය.</verse>
				<verse number="28">එවිට, නෙබුකද්නෙශර් මෙසේ කීවේ ය: “ෂද්‍රක්ගේත්, මේෂක්ගේ හා අබෙද්නෙගෝගේත් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා! මන්ද, උන් වහන්සේ සිය දූතයා එවා තමන්ගේ මේ සේවකයන් තිදෙනා ගළවාගත් සේක. ඔව්හු රජුගේ නියමයට පිටුපා තමන්ගේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ හ. තමන්ගේ දෙවියන් වහන්සේ හැර අන් දෙවියෙකුට සේවය කරනවාටත්, නමස්කාර කරනවාටත් වඩා ගින්නට ගොදුරුවන්නට ඔව්හු සතුටු වූ හ.</verse>
				<verse number="29">“එබැවින්, සියලු ජනයෙනි, ෂද්‍රක්ගේත්, මේෂක්ගේත්, අබෙද්නෙගෝගේත් දෙවියන් වහන්සේට විරුද්ධ ව දොස් කියන යම් කෙනෙකුට හෝ ජාතියකට හෝ භාෂාවකට හෝ අයත් යමෙක් වේ නම්, ඔහු කැබලි කොට ඔහුගේ ගේ-දොර කසළ ගොඩක් කරන හැටියට මම නියමයක් කරමි. මන්ද, මේ ආකාරයෙන් ගළවාගන්නට පුළුවන් අන් දෙවි කෙනෙක් නැත.”</verse>
				<verse number="30">ඉන්පසු රජතුමා, ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ යන තිදෙනා බබිලෝනි පළාතේ වඩාත් උසස් නතුරුවලට පත් කෙළේ ය.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">නෙබුකද්නෙශර් රජ මුළු ලොවේ වාසය කරන සකල ජනයන් හටත්, ජාතීන් හටත්, ඒ ඒ භාෂාවන් කතා කරන සියල්ලන් හටත් මෙසේ නිවේදනය කෙළේ ය: “ඔබට සාමදානය වේ වා!</verse>
				<verse number="2">මහෝත්තම දෙවියන් වහන්සේ මා උදෙසා කළ හාස්කම් ද අරුමපුදුම දේ ද ඔබට දැන්වීම මැනව යි මට පෙනිණි.</verse>
				<verse number="3">උන් වහන්සේ දැක් වූ හාස්කම් කොපමණ මහත් ද? උන් වහන්සේ කළ අරුමපුදුම දේ කොපමණ බලවත් ද? උන් වහන්සේගේ රාජ්‍යය සදාකාල රාජ්‍යයක් ය. උන් වහන්සේගේ පාලනය පරම්පරාවෙන් පරම්පරාවට පවත්නේ ය.</verse>
				<verse number="4">“නෙබුකද්නෙශර් වන මම මාගේ මාලිගාවේ සැපසම්පත් භුක්ති විඳිමින් සුව සේ සිටියෙමි.</verse>
				<verse number="5">එසේ සිටිය දී මා තැති ගැන්වූ ස්වප්නයක් දුටුවෙමි. මා යහනේ සිටිය දී මට ඇති වූ සිතිවිලි හා හිසට නැඟුණු දර්ශන මා බිය ගැන්වී ය.</verse>
				<verse number="6">ස්වප්නයේ තේරුම මට දන්වන පිණිස බබිලෝනියේ සියලු ශාස්ත්‍රවන්තයන් මා ඉදිරියට පමුණුවන හැටියට මම අණ කෙළෙමි.</verse>
				<verse number="7">එවිට මන්ත්‍රකාරයෝ ද අනවිනකාරයෝ ද දෛවඥයෝ ද පේන කියන්නෝ ද මා වෙත ආවෝ ය. මම ඔවුන් ඉදිරියේ මා දුටු ස්වප්නය කීවෙමි. එහෙත්, ඔවුන්ට එහි තේරුම මට කියා දෙන්නට නොහැකි විය.</verse>
				<verse number="8">අන්තිමේ දී මාගේ දෙවියන්ගේ නාමය අනුව ‘බෙල්ටෙෂෙසර්’ කියා නම් කරන ලද දේවාත්මානුභාවය ඇති දානියෙල් මා ඉදිරියට ආවේ ය. දුටු ස්වප්නය මම ඔහුට කීවෙමි:</verse>
				<verse number="9">මන්ත්‍රකාරයන්ගේ ප්‍රධානියා වන බෙල්ටෙෂෙසර්, ඔබට දේවාත්මානුභාවය ඇති බවත් කිසි අබිරහසක් විසඳීම ඔබට දුෂ්කර කාර්යයක් නොවන බවත් මම දනිමි. මා දුටු ස්වප්නය මෙය වේ. එහි තේරුම මට පහදා දෙන්න.</verse>
				<verse number="10">“මා යහනේ සිටිය දී මාගේ හිසට නැඟුණු දර්ශනය මෙය වේ. ඉතා උස ගහක් පොළොව මැද තිබෙනු මම දිටිමි.</verse>
				<verse number="11">ඒ ගස වැවී ශක්තිමත් වී, කරටිය අහසේ උසට යන තෙක් වැඩුණේ ය. පොළොවේ සතර දිග් භාගයට ඒ ගස පෙනුණේ ය.</verse>
				<verse number="12">එහි අතු සහ කොළ ශෝභන ය. පල බහුල ය. සියල්ලන්ට සෑහෙන පමණ කෑම එහි තිබුණේ ය. වන මෘගයෝ ගස යට සෙවණ ලැබුවෝ ය. අහසේ කුරුල්ලෝ අතුවල ලැගුම් ගත්තෝ ය. සියලු සත්ත්වයන්ට එයින් කෑම ලැබුණේ ය.</verse>
				<verse number="13">“මා එසේ දර්ශනය දකිමින් යහනේ සිටිය දී තවදුරටත් මෙසේ දිටිමි. ස්වර්ගයෙන් ශුද්ධ මුරකාරයෙක් බැස ආයේ ය.</verse>
				<verse number="14">ඔහු මහ හඬින් මොරගසා මෙසේ කී ය: ‘ගස සිඳ දමන්න, අතු කපා දමන්න, කොළ සූරා දමන්න, පල විසුරුවා දමන්න, වන මෘගයන් ගසේ සෙවණ යටින් ද කුරුල්ලන් අතුවලින් ද පලවා හරින්න.</verse>
				<verse number="15">එහෙත්, ගසේ මුලේ කඳ කෑල්ල ඉතුරු කර, එයට යකඩ හා ලෝකඩ වළල්ලක් දමා පොළොවේ ලා තණ අතරේ එය තිබෙන්නට අරින්න. මේ මිනිහා අහසේ පිනිවලින් තෙමේ වා; මෘගයන් සමඟ තණ කොළ කෑවා වේ.</verse>
				<verse number="16">ඔහුගේ සිත මිනිස් සිතක් නොවන ලෙස වෙනස් වී මෘග සිතක් ඔහුට ලැබී, ඒ අයුරින් අවුරුදු සතක් ගතවුණා වේ.</verse>
				<verse number="17">මේ තීරණය මුරකාරයන්ගේ නියමයක් වන්නකි; මේ තීන්දුව ශුද්ධ තැනැත්තන්ගෙන් වන ප්‍රකාශනයකි. මෙසේ වන්නේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය මහෝත්තමයාණන් පාලනය කරන බවත්, තමන් කැමැති කෙනෙකුට උන් වහන්සේ එය දෙන බවත්, මිනිසුන්ගෙන් ඉතා පහත් කෙනෙකුට වුව ද එහි පාලනය භාර දෙන බවත් ජීවත් ව සිටින අය දැනගන්න පිණිස ය.</verse>
				<verse number="18">“මේ ස්වප්නය, නෙබුකද්නෙශර් රජු වන මම දිටිමි. එම්බා බෙල්ටෙෂෙසර්, එහි තේරුම මට දන්වන්න. මන්ද, මාගේ රාජ්‍යයේ සිටින සියලු ශාස්ත්‍රවන්තයන්ගෙන් එක් කෙනෙකුට වත් එය නොකළ හැකි විය. එහෙත්, දේවාත්මානුභාවය ඔබට ඇති බැවින් ඔබට නම් එය කළ හැකි ය.”</verse>
				<verse number="19">එකල බෙල්ටෙෂෙසර් නම් ලත් දානියෙල් දර්ශනය ගැන ඇති වූ සිතුවිලිවලින් කැළඹී, මොහොතකට තුෂ්ණීම්භූත ව සිටියේ ය. රජතුමා ඔහු අමතා, “බෙල්ටෙෂෙසර් ස්වප්නය ගැන වත්, එහි තේරුම ගැන වත් නොකැළඹෙන්නැ”යි කී ය. බෙල්ටෙෂෙසර් මෙසේ පිළිතුරු දුන්නේ ය: “මාගේ රජතුමනි, ස්වප්නය ඔබට ද්වේෂ කරන්නන්ටත්, එහි තේරුම ඔබේ සතුරන්ටත් අදාළ වේ වා!</verse>
				<verse number="20">රජතුමනි, ඔබ දුටු, වැවී ශක්තිමත් වී කරටිය අහස උසට යනතෙක් වැඩුණු, පොළොවේ සතර දිග් භාගයක පෙනුණු,</verse>
				<verse number="21">ශෝභන කොළ ද බොහෝ පල ද සියල්ලන්ට කෑම ද තිබුණු, වන මෘගයන්ට සෙවණක් වූ, අහසේ පක්ෂීන් ලැගුම් ගත්, අතු තිබුණු ගස නම් ඔබ ම ය.</verse>
				<verse number="22">“ඔබ වර්ධනය වී බලවත් ව සිටින්නෙහි ය. ඔබේ උතුම්කම වැවී, අහස දක්වා නැඟී ඇත. ඔබේ පාලනය පොළොවේ සීමාන්තයන් දක්වා පැතිර ගොස් ඇත.</verse>
				<verse number="23">තවද, ශුද්ධ මුරකාරයෙකු ස්වර්ගයෙන් බැස එනු ඔබ දුටුවෙහි ය. ඔහු මෙසේ කී ය: ‘ගහ සිඳදමා විනාශකරන්න, එහෙත්, එහි මුල් හා කඳ යකඩ හා ලෝකඩ වළල්ලක් දමා පොළොවේ ළා තණ අතරේ තිබෙන්නට අරින්න. ඒ මිනිසා අහසේ පිනිවලින් තෙමේ වා. අවුරුදු සතක් ගතවන තුරු ඔහු මෘගයන් සමඟ තණ කොළ කෑවා වේ.’</verse>
				<verse number="24">“රජතුමනි, එහි තේරුම මෙය වේ. එය මාගේ ස්වාමීන් වන රජතුමාට පැමිණ තිබෙන මහෝත්තමයාණන්ගේ නියමය ය.</verse>
				<verse number="25">ඔබ මනුෂ්‍ය වාසයෙන් පන්නාදමනු ලබන්නෙහි ය. ඔබේ වාසය වනයේ මෘගයන් සමඟ වන්නේ ය. ගවයන්ට මෙන් ඔබට තණ කොළ කවනු ලබන්නෙහි ය. ඔබ අහසේ පින්නෙන් තෙමනු ලබන්නෙහි ය. මෙසේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය මහෝත්තමයාණන් වහන්සේ පාලනය කරන බවත්, තමන් කැමැති කෙනෙකුට උන් වහන්සේ එය දෙන බවත් ඔබ දැනගන්න තුරු, අවුරුදු සතක් ඔබ ගත කරන්නෙහි ය.</verse>
				<verse number="26">කෙසේ වෙතත්, අර මුරකාරයා ගසේ මුලේ කඳ කොටස ඉතිරි කරන්නට අණ කෙළේ ය. එහි තේරුම මෙය යි. මහෝත්තමයාණන් මනුෂ්‍ය රාජ්‍යයන් පාලනය කරන බව ඔබ දැනගත් පසු ඔබේ රාජ්‍යය ඔබට ස්ථිර වන්නේ ය.</verse>
				<verse number="27">එබැවින් රජතුමනි, මාගේ දැනමුතුකම පිළිගැනීමට සතුටු වුව මැනව. දැහැමිකම් කිරීමෙන් ඔබේ පාප ද දිළිඳුන්ට කරුණා කිරීමෙන් ඔබේ අපරාධ ද පහකළ මැනව. එසේ කිරීමෙන් සමහර විට දීර්ඝ කාලයක් ඔබට සාමදානයෙන් සිටින්නට පුළුවන් වනු ඇත.”</verse>
				<verse number="28">මේ සියල්ල නෙබුකද්නෙශර් රජුට සිදු විය.</verse>
				<verse number="29">දොළොස් මසක් ගත වූ පසු ඔහු බබිලෝනියේ රාජ මාලිගාව උඩ සක්මන් කරමින් සිටියේ ය.</verse>
				<verse number="30">සක්මන් කරමින් සිටිය දී ඔහු මෙසේ කීවේ ය: “එම්බා ශ්‍රේෂ්ඨ බබිලෝනිය, මාගේ රජවාසල වශයෙන් ද මාගේ රාජශ්‍රීයේ ගෞරවය උදෙසා ද මාගේ බලපරාක්‍රමයෙන් මා විසින් ගොඩනඟන ලද නගරය තී නොවේ ද?”</verse>
				<verse number="31">ඔහු මේ වචන පවසද්දී ම ස්වර්ගයෙන් එන හඬක් ඇසුණේ ය. ඒ මෙසේ ය: “එම්බා නෙබුකද්නෙශර් රජ, නුඹේ රාජ්‍යය නුඹෙන් පහ විය;</verse>
				<verse number="32">නුඹ මනුෂ්‍ය වාසයෙන් පන්නාදමනු ලබන්නෙහි ය. නුඹේ වාසය මෘගයන් සමඟ වන්නේ ය; නුඹට ගවයන්ට මෙන් තණ කොළ කවනු ලබන්නෙහි ය. මනුෂ්‍යයන්ගේ රාජ්‍යය මහෝත්තමයාණන් වහන්සේ පාලනය කරන බවත්, තමන් කැමැති කෙනෙකුට උන් වහන්සේ එය දෙන බවත් නුඹ දැනගන්න තුරු අවුරුදු සතක් නුඹ එසේ ගත කරන්නෙහි ය.”</verse>
				<verse number="33">ඒ කියන ලද දේ එකෙණෙහි ම සම්පූර්ණයෙන් ම ඉෂ්ට විය. ඔහු මනුෂ්‍ය වාසයෙන් පන්නාදමනු ලැබ, ගොනුන්ට මෙන් ඔහුට තණ කොළ කවන ලදී. ඔහුගේ හිසකේ රාජාලියන්ගේ පිහාටු මෙන් ද ඔහුගේ නියපොතු පක්ෂීන්ගේ නියපොතු මෙන් ද වැඩෙන තුරු ඔහුගේ ශරීරය අහසේ පින්නෙන් තෙමුණේ ය.</verse>
				<verse number="34">අවුරුදු සත ගත වූ පසු, නෙබුකද්නෙශර් රජු වන මම මාගේ ඇස් ස්වර්ගය දෙස එසවීමි. මාගේ සිහිය මට නැවත ලැබුණේ ය. මම සදහට ම ජීවත් වන මහෝත්තමයාණන්ට ප්‍රශංසා කෙළෙමි; ගෞරව කෙළෙමි. මන්ද, එතුමාණන්ගේ පාලනය සදාතනික ය; එතුමාණන්ගේ රාජ්‍යය පරපුරෙන් පරපුරට පවත්නේ ය.</verse>
				<verse number="35">ලොවේ සියලු වැසියන් කිසි වටිනාකමක් නැති අය සේ එතුමාණෝ සලකන සේක. උන් වහන්සේ ස්වර්ගික සේනාවන් හා පොළොවේ වැසියන් අතර තමන් රිසි දේ කරන සේක. උන් වහන්සේගේ ක්‍රියාවන් නවත්වන්නට වත්, ‘ඔබ කුමක් කරන සේක් ද’ කියා උන් වහන්සේට අභියෝග කරන්නට වත් පුළුවන් කිසිවෙක් නැත.</verse>
				<verse number="36">ඒ වේලාවේ දී ම මාගේ සිහිය මට නැවත ලැබුණු විට මාගේ රාජ්‍යයේ ගෞරවය උදෙසා මාගේ රාජශ්‍රීයත්, ඓශ්චර්යයත් මා වෙත නැවත පැමිණියේ ය. මාගේ මන්ත්‍රීවරු ද මාගේ උත්තමයෝ ද මා සාදරයෙන් පිළිගත්හ. මාගේ රාජ්‍යයේ මම යළි පිහිටුවනු ලැබීමි. මාගේ උතුම්කම පෙරට වඩා වැඩි විය.</verse>
				<verse number="37">දැන් නෙබුකද්නෙශර් රජු වන මම ස්වර්ගයේ රජ්ජුරුවන් වහන්සේට ප්‍රශංසා කරමි, තුති පුදමි, ගරු කරමි, මන්ද, උන් වහන්සේගේ පොරො‍න්දු ඉෂ්ට වන්නේ ය. උන් වහන්සේගේ ක්‍රියා මාර්ග සාධාරණ ය. උඩඟුකමින් හැසිරෙන්නන් පහත් කරන්නට උන් වහන්සේට පුළුවන.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">බෙල්ෂෙසර් රජු සිය උත්තමයන් දහසකට මහා මංගල උත්සවයක් පිළියෙළ කර ඔවුන් සමඟ මත්පැන් බීවේ ය.</verse>
				<verse number="2">ඔහු බොමින් සිටිය දී, ඔහුගේ පියා වූ නෙබුකද්නෙශර් ජෙරුසලමේ දේව මාලිගාවෙන් කොල්ලකාගත් රන් රිදී භාජනවලින් තමා ද තමාගේ උත්තමයන් ද සිය භාර්යාවන් ද උපභාර්යාවන් ද බොන පිණිස ඒවා ගෙනෙන්නට අණ කෙළේ ය.</verse>
				<verse number="3">එවිට ඔව්හු ජෙරුසලමේ දේව මාලිගාවේ සිද්ධස්ථානයෙන් පැහැරගෙන එන ලද රන් රිදී භාජන ගෙනාහ. රජ ද ඔහුගේ උත්තමයෝ ද භාර්යාවෝ ද උපභාර්යාවෝ ද එයින් බීවෝ ය.</verse>
				<verse number="4">ඔව්හු මත්පැන් බී, රන් රිදී, ලෝකඩ, යකඩ, ලී හා ගල්වලින් තනන ලද දෙවිවරුන්ට ප්‍රශංසා කළහ.</verse>
				<verse number="5">එකල හදිසියෙන් පහන් රුක ඉදිරිපිට රාජ මාලිගාවේ බිත්තියේ බදාම පිට ලියන මිනිස් අතක ඇඟිලි පෙනිණි. රජ තෙම ඒ අත දුටුවේ ය.</verse>
				<verse number="6">එකල රජුගේ මුහුණ මැලවී සිත කැළඹුණේ ය. ඔහුගේ දෙකකුල් වාරු නැති ව දණහිස් එකට එක වැදුණේ ය.</verse>
				<verse number="7">එකල රජ තෙම අනවිනකාරයන් ද කල්දිවරුන් ද පේන කියන්නන් ද කැඳවාගෙන එන ලෙස කෑ ගසා කී ය. රජ තෙම බබිලෝනියේ ශාස්ත්‍රවන්තයින් අමතා, “මේ ලියවිල්ල කියවා, එහි අර්ථය මට පෙන්වා දෙන කවුරු හෝ වේවා, ඔහුට රත්නිල් වස්ත්‍රයක් අඳවා, ගෙල වටා රන් මාලයක් පළඳවා, රාජ්‍යයේ තුන් වන ආණ්ඩුකාරයා වශයෙන් ඔහු පත් කරනු ලබන්නේ ය”යි කී ය.</verse>
				<verse number="8">එවිට රජුගේ සියලු ශාස්ත්‍රවන්තයෝ පැමිණියෝ ය. එහෙත්, ඒ ලියවිල්ල කියවන්නට වත්, එහි අර්ථය රජුට පහදා දෙන්නට වත් ඔවුන්ට නොහැකි විය.</verse>
				<verse number="9">එවිට බෙල්ෂෙසර් රජ අතිශයින් කැළඹී, මුහුණ මැලවී සිටියේ ය. ඔහුගේ උත්තමයෝ ද වියවුල් ව සිටියෝ ය.</verse>
				<verse number="10">රජු සහ උත්තමයන් කතා කරමින් සිටිය දී බිසොව භෝජන ශාලාවට පැමිණ මෙසේ කීවා ය: “රජතුමා සදාකාලේට ම ජීවත් වේ වා! සිතුවිලිවලින් නොකැළඹී මුහුණ මැලවී නොසිටින්න.</verse>
				<verse number="11">දේවාත්මානුභාවය ඇති මනුෂ්‍යයෙක් ඔබේ රාජ්‍යයේ සිටියි. ඔබේ පියාණන්ගේ කාලයේ දී මොහු පැහැදිලි කල්පනාව ද නුවණ ද දෙවියන්ගේ ප්‍රඥාවට සමාන ප්‍රඥාවක් ද ඇති කෙනෙකු ලෙස ප්‍රසිද්ධ ව සිටියේ ය. ඔබේ පියා වූ නෙබුකද්නෙශර්ගේ කාලයේ දී, ඔහු මන්ත්‍රකාරයන්ගේ ද අනවිනකාරයන්ගේ ද දෛවඥයන්ගේ ද පේන කියන්නන්ගේ ද ප්‍රධානියා වශයෙන් පත් කරන ලදී.</verse>
				<verse number="12">රජු විසින් බෙල්ටෙෂෙසර් යන නම තබන ලද ඒ දානියෙල් උසස් කුශලතා ඇති, ස්වප්න තේරුම් කර දීමේත්, තේරවිලි විසඳීමේත්, ගැටපද පහදා දීමේත් ඥානය ඇති කෙනෙකු විය. දැන් ඔබ මේ දානියෙල් කැඳෙව්වොත්, ඔහු ඔය ලියවිල්ලේ අර්ථය පහදා දෙනු ඇතැ”යි කීවා ය.</verse>
				<verse number="13">එකල දානියෙල් තෙමේ රජු ඉදිරියට ගෙන්වන ලද්දේ ය. රජ තෙමේ දානියෙල් අමතා, “මාගේ පිය රජ්ජුරුවන් ජුදා රටින් අල්ලාගෙන ආ ජුදෙව්වන්ගෙන් එක් කෙනෙකු වන දානියෙල් ඔබ ද?</verse>
				<verse number="14">දේවාත්මානුභාවය ඔබ තුළ තිබෙන බව ද පැහැදිලි කල්පනාවත්, නුවණත්, උතුම් ප්‍රඥාවත් ඔබ තුළ තිබෙන බව ද මා ඔබ ගැන අසා ඇත.</verse>
				<verse number="15">මේ ලියවිල්ල කියවා එහි අර්ථය දන්වන පිණිස ශාස්ත්‍රවන්තයන් ද අනවිනකාරයන් ද මා ඉදිරියට ගෙනෙනු ලැබූ නමුත්, එහි අර්ථය පහදා දෙන්න ඔවුන්ට නොහැකි විය.</verse>
				<verse number="16">ඔබට අර්ථකථනය කිරීමටත් ගැටපද විවරණය කිරීමටත් හැකි බව මම අසා ඇත්තෙමි. මෙම ලියවිල්ල කියවා එහි අර්ථය පහදා දීමට හැකි නම්, ඔබට රත්නිල් වස්ත්‍ර හඳවා, ගෙල වටා රන් මාලයක් පළඳවා, රාජ්‍යයේ තුන් වන ආණ්ඩුකාරයා වශයෙන් මම ඔබ පත් කරමි”යි කී ය.</verse>
				<verse number="17">එවිට දානියෙල්, රජු ඉදිරියේ මෙසේ කී ය: “ඔබේ දීමනා ඔබ ම තබාගනු මැනවි. ඔබේ තෑගි අන් කෙනෙකුට දෙනු මැනවි. කෙසේ වෙතත් මෙම ලියවිල්ල කියවා එය රජ්ජුරුවන්ට පහදා දෙන්නෙමි.</verse>
				<verse number="18">“රජතුමනි, මහෝත්තම දෙවියන් වහන්සේ රජකම ද මහන්තත්ත්වය ද ගෞරවය ද මහිමය ද ඔබේ පිය වූ නෙබුකද්නෙශර්ට දුන් සේක.</verse>
				<verse number="19">උන් වහන්සේ ඔහුට දුන් මහන්තත්ත්වය නිසා සියලු ජනයෝ ද ජාතීහු ද භාෂාවෝ ද ඔහු ඉදිරියේ වෙවුලා බිය වූවෝ ය. ඔහු කැමැති කෙනෙකු මැරී ය; කැමැති කෙනෙකු ඉතුරු කෙළේ ය. ඔහු කැමැති කෙනෙකු උසස් කෙළේ ය. කැමැති කෙනෙකු පහත් කෙළේ ය.</verse>
				<verse number="20">එහෙත්, ඔහුගේ සිත අහංකාරයෙන් ද අභිමානයෙන් ද දැඩි වූ විට ඔහු රාජ්‍යාසනයෙන් පහ කරනු ලැබී ය. ඔහුගේ මහිමය ද ඔහුගෙන් පහ කරනු ලැබී ය.</verse>
				<verse number="21">මනුෂ්‍යයන්ගේ රාජ්‍යය මහෝත්තම දෙවියන් වහන්සේ පාලනය කරන බවත්, තමන් කැමැති කෙනෙකු උන් වහන්සේ ඒවායේ පාලනය කිරීමට පත් කරන බවත් දැනගන්නා තුරු ඔහු ජන සමාජයෙන් පිටමං කරනු ලැබී ය. ඔහුගේ සිත මෘගයෙකුගේ සිත මෙන් විය. වල් කොටළුවන් සමඟ ජීවත් වී, ගොනුන් මෙන් තණ කොළ කන්නට ඔහුට සිදු විය. ඔහුගේ සිරුර අහසේ පින්නෙන් තෙමුණේ ය.</verse>
				<verse number="22">“ඔහුගේ පුත්‍රයා වන බෙල්ෂෙසර් නම් ඔබ මේ සියල්ල දැන ගෙන සිටි නමුත්, ඔබේ සිත යටත් කර නොගෙන, ස්වර්ගයේ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව උසස් වී, උන් වහන්සේගේ ගෘහයේ භාජන ඔබ ඉදිරියට ගෙන්වාගෙන, ඔබ ද ඔබේ උත්තමයෝ ද භාර්යාවෝ ද උපභාර්යාවෝ ද එයින් බීවෝ ය.</verse>
				<verse number="23">තවද, කිසි පෙනීමක් වත්, ඇසීමක් වත්, දැනුමක් වත් නැති, රන් රිදී, ලෝකඩ, යකඩ, ලී සහ ගලින් සාදන ලද දෙවිවරුන්ට ඔබ ප්‍රශංසා කෙළෙහි ය. එහෙත්, ඔබේ ප්‍රාණයටත්, ඉරණමටත් කර්තෘ වන දෙවියන් වහන්සේට ඔබ ගෞරව කෙළේ නැත.</verse>
				<verse number="24">උන් වහන්සේ වෙතින් අතක් එවනු ලැබ මේ ලියවිල්ල ලියන ලද්දේ ඒ බැවිනි.</verse>
				<verse number="25">“ලියන ලද ලියවිල්ල නම්: ‘මෙනේ, මෙනේ, තෙකේල් උ-පාර්සීන්’ යනු යි.</verse>
				<verse number="26">එහි අර්ථය මෙසේ ය: ‘මෙනේ’ යන්නෙන් දෙවියන් වහන්සේ ඔබේ රජකමේ කාලය ගණන් කර එය කෙළවර කළ සේකැ යි අදහස් කර ඇත.</verse>
				<verse number="27">‘තෙකේල්’ යන්නෙන් ඔබ තරාදියේ දමා කිරනු ලැබ, බරෙන් අඩු බව අදහස් කෙරේ.</verse>
				<verse number="28">‘උ-පාර්සීන්’ යන්නෙන් ඔබේ රාජ්‍ය බෙදා, මේදවරුන්ටත්, පර්සිවරුන්ටත් දෙන ලදැ යි අදහස් කෙරේ.”</verse>
				<verse number="29">එකල බෙල්ෂෙසර්ගේ අණ පිට දානියෙල් රක්ත-නීල වස්ත්‍රයක් හඳවා, ගෙල වටා රන් මාලයක් පළඳවා, රාජ්‍යයේ තුන් වන ආණ්ඩුකාරයා ය, කියා ඔහු ගැන ප්‍රසිද්ධ කරන ලද්දේ ය.</verse>
				<verse number="30">එම රාත්‍රියේ ම කල්දිවරුන්ගේ රජ වූ බෙල්ෂෙසර් මරන ලද්දේ ය.</verse>
				<verse number="31">අවුරුදු හැටදෙකක් පමණ වයස් ව සිටි මේදීය ජාතික දාරියුස් තෙමේ රාජ්‍යය භාරගත්තේ ය.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">දාරියුස් රජතුමා තමාගේ මුළු රාජ්‍යය භාර ව සිටින පිණිස දිශාධිපතීන් එකසිය විසිදෙනෙකු පත් කිරීමට සතුටු විය.</verse>
				<verse number="2">ඔහු ඔවුන්ට ඉහළින් ප්‍රධාන ඇමතිවරුන් තිදෙනෙකු ද පත් කෙළේ ය. මේ තිදෙනාට වගකීම පැවරී තිබුණේ ය. දාරියුස් මෙසේ කෙළේ ඔහුට කිසි හානියක් නොවන පිණිස ය. ඒ අමාත්‍යවරුන්ගෙන් එක් කෙනෙක් දානියෙල් විය.</verse>
				<verse number="3">දානියෙල්ට ඇති පුදුම කුශලතා නිසා, ඔහු ඇමතිවරුන්ටත්, දිශාධිපතීන්ටත් වඩා උත්කෘෂ්ට බව පෙනී ගියේ ය. එබැවින් රජතුමා මුළු රාජ්‍යය පාලනය කිරීම පිණිස දානියෙල් පත් කරන්නට අදහස් කෙළේ ය.</verse>
				<verse number="4">මෙයට අසතුටු වූ ඇමතිවරු හා දිශාධිපතිවරු දානියෙල්ගේ පාලනයේ යම් වරදක් සොයන්නට මාන බැලුවෝ ය. එහෙත්, එවැනි කිසි ම වරදක් ඔවුන්ට සොයාගත නොහැකි විය. මන්ද, ඔහු විශ්වාසවන්ත ව කටයුතු කෙළේ ය. ඔහුගේ කිසි වරදක් වත්, දෝෂයක් වත් නො වී ය.</verse>
				<verse number="5">එවිට ඔව්හු, “දානියෙල්ට විරුද්ධ ව පැමිණිලි කරන පිණිස ඔහුගේ ආගම සම්බන්ධයෙන් යම් කරුණක් සොයා ගත්තොත් මිස, අන් කිසි කරුණක් අපට කිසි කලෙක සොයාගත නොහැකි ය”යි කී හ.</verse>
				<verse number="6">එබැවින් ඇමතිවරු ද දිශාධිපතිවරු ද මෙසේ කී හ: “රජතුමනි, චිරාත් කාලයක් වැජඹෙත් වා!</verse>
				<verse number="7">ඔබේ රාජ්‍යයේ සියලු අමාත්‍යයෝ ද අධිපතිවරු ද මන්ත්‍රීවරු ද ආණ්ඩුකාරයෝ ද වන අපි ඉදිරිපත් කරන රාජඥාව පනවා එය ක්‍රියාත්මක කරන ලෙස ඔබෙන් ඉල්ලීමට ඒකමතික ව තීරණය කරගනිමු. එනම්, ‘තිස් දවසක් ඇතුළත දී යම් කෙනෙකු රජතුමාගෙන් මිස, අන් දෙවි කෙනෙකුගෙන් වත්, මනුෂ්‍යයෙකුගෙන් වත් කිසියම් අයැදුමක් කළොත්, ඔහු සිංහ ගුහාවේ හෙළනු ලැබේ ය’ කියා ය.</verse>
				<verse number="8">ඉතින් රජතුමනි, මේදවරුන්ගේ ද පර්සිවරුන්ගේ ද වෙනස් නොකළ හැකි ව්‍යවස්ථාවේ ප්‍රකාරයට මේ ආඥා පත්‍රය ද වෙනස් නොකළ හැකි වන ලෙස එය ස්ථිර කර අත්සන් කළ මැනව.”</verse>
				<verse number="9">දාරියුස් රජ ඒ ආඥා පත්‍රය අත්සන් කෙළේ ය.</verse>
				<verse number="10">රාජාඥාව පනවා ඇති බව දානියෙල්ට ආරංචි වූ විට, ඔහු ගෙදර ගොස්, උඩුමහල් මැදුරේ කවුළු ජෙරුසලම දෙසට ඇරී තිබිය දී, පුරුදු පරිදි දිනකට තුන් වරක් දණින් වැටී, තමාගේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි යාච්ඤා කොට ස්තූති පුද කෙළේ ය.</verse>
				<verse number="11">දානියෙල් වරදකට අසු කිරීමට බලා සිටි විරුද්ධකාරයෝ පැමිණ, දානියෙල් තමාගේ දෙවියන් වහන්සේ ඉදිරියේ යාච්ඤා හා කන්නලව් කරනු දුටුවෝ ය.</verse>
				<verse number="12">එවිට ඔව්හු රජ්ජුරුවන් ඉදිරියට පැමිණ රාජාඥාව මතක් කර, “රජතුමනි, තිස් දවසක් ඇතුළත දී යම් කෙනෙකු ඔබතුමාගෙන් මිස, අන් දෙවි කෙනෙකුගෙන් වත්, මනුෂ්‍යයෙකුගෙන් වත් කිසියම් අයැදුමක් කළොත්, ඔහු සිංහ ගුහාවට හෙළිය යුතු ය කියා ඔබතුමා ආඥා පත්‍රයක් අත්සන් කළා නොවේ දැ”යි ඇසූ හ. “එය එසේ ම යි; වෙනස් නොකළ හැකි මේදවරුන්ගේ ද පර්සිවරුන්ගේ ද ව්‍යවස්ථාව අනුව එය ස්ථිර ය”යි රජතුමා පිළිතුරු දුන්නේ ය.</verse>
				<verse number="13">එවිට ඔව්හු රජ්ජුරුවන් ඉදිරියෙහි පිළිතුරු දෙමින්, “රජතුමා ජුදා රටින් අල්ලගනු ලැබූ අයගෙන් එක් කෙනෙකු වන දානියෙල්, ඔබ හා ඔබතුමා අත්සන් කළ ආඥාව නොසලකා, දවසකට තුන් වරක් තමාගේ දෙවියන්ට අයැදුම් කරයි” යයි කී හ.</verse>
				<verse number="14">රජතුමා මේ වචන ඇසූ විට, ඉමහත් සංවේගයට පත් වී, දානියෙල් ගළවාගන්නට ඉටාගෙන, ඉර බසින තුරු ඒ ගැන මොළය වෙහෙසා කල්පනා කෙළේ ය.</verse>
				<verse number="15">එකල ඒ පිරිස රජු වෙත පැමිණ, “රජතුමනි, මේදවරුන්ගේ ද පර්සිවරුන්ගේ ද නීතිය අනුව රජු විසින් පනවන ලද නියෝගයක් වෙනස් කළ නොහැකි බව ඔබතුමාට මතක් කරනු කැමැත්තෙමු”යි කී හ.</verse>
				<verse number="16">එවිට රජතුමා දානියෙල් ගෙනවුත් සිංහ ගුහාවේ දැමීමට නියමයක් කෙළේ ය. එහෙත්, ඔහු දානියෙල්ට කතා කොට, “ඔබ නිරන්තරයෙන් ම නමස්කාර කරන, ඔබේ දෙවියන් වහන්සේ ඔබ ගළවන සේක් වා!”යි කී ය.</verse>
				<verse number="17">තවද, දානියෙල් සම්බන්ධයෙන් කරන ලද නියමය වෙනස් නොකළ හැකි වන ලෙස, ගලකින් සිංහ ගුහාවේ කට වසා, එය රාජ මුද්‍රාවෙන් ද උත්තමයන්ගේ මුද්‍රාවලින් ද මුද්‍රා කරනු ලැබී ය.</verse>
				<verse number="18">රජතුමා මාලිගාවට ගොස් නිරාහාරයෙන් රාත්‍රිය ගත කෙළේ ය; පුරුදු විනෝද ආස්වාද ද ප්‍රතික්ෂේප කෙළේ ය. ඔහුට කිසි නින්දක් නො වී ය.</verse>
				<verse number="19">උදේ පාන්දරින් එළිය වැටීගෙන එද්දී ම ඔහු නැඟිට සිංහ ගුහාව ළඟට යුහු යුහු ව ගියේ ය.</verse>
				<verse number="20">දානියෙල් සිටි සිංහ ගුහාවට ඔහු ළං වෙත් ම, ඔහු සංවේගජනක හඬකින් මොරගසා, “ජීවමාන දෙවියන් වහන්සේගේ මෙහෙකරු වන දානියෙල්, ඔබ නොකඩවා ම නමස්කාර කරන ඔබේ දෙවියන් වහන්සේට සිංහයන්ගෙන් ඔබ ගළවාගන්නට පුළුවන් වී දැ”යි ඇසුවේ ය.</verse>
				<verse number="21">එවිට දානියෙල් මෙසේ පිළිතුරු දුන්නේ ය: “රජතුමනි, චිරාත් කාලයක් වැජඹෙත් වා!</verse>
				<verse number="22">මාගේ දෙවියන් වහන්සේ තමන්ගේ දූතයන් එවා සිංහයන්ගේ කටවල් පියෙ වූ සේක. එබැවින් උන්ගෙන් මට කිසි අනතුරක් නො වී ය. මාගේ දෙවියන් වහන්සේ එසේ කෙළේ, උන් වහන්සේ ඉදිරියේ මා නිදොස් කෙනෙකු වන බැවිනි. ඇරත් රජතුමනි, ඔබ ඉදිරියේ ද මා කිසි වරදක් කර නැත.”</verse>
				<verse number="23">එවිට රජතුමා ඉතා සන්තෝෂ වී, දානියෙල් ගුහාවෙන් ගොඩට ගන්නට අණ කෙළේ ය. එසේ දානියෙල් ගුහාවෙන් ගොඩගන්නා ලදී. ඔහුට සුළු තුවාළයක් වත් සිදු වී තිබුණේ නැත. එසේ වන්නට හේතුව ඔහු තමාගේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමයි.</verse>
				<verse number="24">ඉන්පසු රජතුමා දානියෙල්ට විරුද්ධ ව පැමිණිලි කළ අය, ඔවුන්ගේ භාර්යාවන් හා දරුවන් සමඟ සිංහ ගුහාවට දමන්නට අණ කෙළේ ය. ඔවුන් ගුහාවේ පතුළට පැමිණෙන්නටත් පෙර සිංහයෝ ඔවුන් පිට කඩා පැන ඇටකටු පිටින් ඔවුන් කැබලිකොට දැමූ හ.</verse>
				<verse number="25">දාරියුස් රජ ලොව පුරා සිටි සකල ජනයාටත්, ජාතීන්ටත්, හැම භාෂාවක් කතා කරන අයටත් මෙසේ ලියා යැව්වේ ය: “ඔබ හැමට සාමදානය වේ වා!</verse>
				<verse number="26">මාගේ අධිරාජ්‍යයේ සකල විජිතයන්හි සිටින සියලු දෙනා දානියෙල්ගේ දෙවියන් වහන්සේට ගරුබිය දක්වා නමස්කාර කළ යුතු යයි මම අණ කරමි. මන්ද, එතුමාණෝ ජීවමාන සදාතනික දෙවිඳාණෝ ය. එතුමාණන්ගේ රාජ්‍යය පහ නොවන්නේ ය; එතුමාණන්ගේ පාලනය ද අවසන් නොවන්නේ ය.</verse>
				<verse number="27">ගළවන්නේත්, නිදහස් කරන්නේත්, අහසේ ද පොළොවේ ද හාස්කම් ද අරුමපුදුම දේ ද කරන්නේත් එතුමාණෝ ය. සිංහයන්ගේ බලයෙන් දානියෙල් මුදාගත්තේත් එතුමාණෝ ය”</verse>
				<verse number="28">මේ නිසා දාරියුස්ගේ රාජ්‍ය කාලයේ දී ද පර්සියානු ජාතික සයිරස්ගේ රාජ්‍ය කාලයේ දී ද දානියෙල් තෙමේ සෞභාග්‍යයෙන් වැජඹුණේ ය.</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">බබිලෝනියේ රජ වූ බෙල්ෂෙසර්ගේ පළමු වන අවුරුද්දේ දී දානියෙල් සිය යහනේ සිටිය දී ස්වප්නයක් ද හිසට නැඟුණු දර්ශනයක් ද දුටුවේ ය. ඔහු ස්වප්නය ලිව්වේ ය; එහි වාර්තාව මේ ය:</verse>
				<verse number="2">රාත්‍රියේ මාගේ දර්ශනයේ දී ස්වර්ගයෙන් හමා ආ මාරුත සතරක් මහ මුහුද කළඹනවාත්,</verse>
				<verse number="3">එකිනෙකාට වෙනස් වූ දැවැන්ත මෘගයන් සතරදෙනෙකු මුහුදෙන් නැඟී එනවාත් මම දිටිමි.</verse>
				<verse number="4">පළමු වන මෘගයා සිංහයෙකු වැනි ය; ඌට රාජාලි පියාපත් තිබුණේ ය. මා බලා සිටිය දී උගේ පියාපත් උදුරාදමා, පොළොවෙන් ඔසවා මනුෂ්‍යයෙකු මෙන් පාද දෙකකින් ඌ සිටවනු ලැබී ය; මනුෂ්‍ය සිතක් ද ඌට දෙන ලද්දේ ය.</verse>
				<verse number="5">මා දුටු දෙ වන මෘගයා වලසෙකු හා සමාන ය. ඌ එක ඇළයකින් කෙළින් වී සිටියේ ය. උගේ කටේ දත් අතරේ ඉළ ඇට තුනක් තිබුණේ ය. ‘නැඟිට බොහෝ මස් කන්නැ’යි ඌට කියන ලද්දේ ය.</verse>
				<verse number="6">ඉන්පසු තවත් මෘගයෙකු දිටිමි. ඌ දිවියෙකු වැනි ය. පක්ෂි පියාපත් සතරක් උගේ පිටේ තිබුණේ ය. ඌට හිස් සතරක් ද තිබුණේ ය. ඌට බලය දෙන ලද්දේ ය.</verse>
				<verse number="7">මාගේ රාත්‍රි දර්ශනවලින් මා දුටු සතර වන මෘගයා භයානක, රෞද්‍ර, ඉතා ශක්තිමත් එකෙකි. ඌට විශාල යකඩ දත් තිබුණේ ය. ඌ ගොදුර පොඩි කර කා ගිලදැම්මේ ය; ඉතිරි දේ උගේ පාදවලින් පෑගුවේ ය. කලින් කී මෘගයන්ට වඩා ඌ වෙනස් ය. ඌට අං දසයක් තිබුණේ ය.</verse>
				<verse number="8">ඒ අං දෙස මා බලා සිටිය දී, ඒවා අතරේ තවත් කුඩා අඟක් හටගත්තේ ය. එයට ඉඩ දෙන පිණිස පළමු වන අං තුනක් උදුරාදමනු ලැබී ය. මේ අඟට මනුෂ්‍ය ඇස් වැනි ඇස් ද පුරසාරම් දොඩන කටක් ද තිබුණේ ය.</verse>
				<verse number="9">මා බලා සිටිය දී, සිංහාසන පිහිටුවනු ලදුව පෞරාණිකයාණෝ අසුන් ගත්හ. උන් වහන්සේගේ වස්ත්‍ර හිම මෙන් සුදු ය; හිසකේ පිරිසිදු ලොම් මෙන් සුදු ය. උන් වහන්සේගේ සිංහාසනය ගිනි ජාලාවකි. එහි රො‍‍්ද ඇවිලෙන ගිනි ය.</verse>
				<verse number="10">ගිනිමය ගංගාවක් උන් වහන්සේ ඉදිරියෙන් ගලාගෙන ගියේ ය. ලක්ෂ සංබ්‍යාත පිරිසක් උන් වහන්සේට උපස්ථාන කළහ. කෝටි ප්‍රකෝටි සංබ්‍යාත පිරිසක් උන් වහන්සේ ඉදිරියේ සිටියහ. අධිකරණ සභාව අසුන් ගත්තා ය. පොත් දිගඅරින ලද්දේ ය.</verse>
				<verse number="11">එවිට අර අඟ කතා කරන ආඩම්බර වචන නිසා මම බලා සිටියෙමි. මා බලා සිටිය දී සතර වන මෘගයා මරා, උගේ ශරීරය විනාශ කර ඇවිලෙන ගින්නට දමනු ලැබී ය.</verse>
				<verse number="12">සෙසු මෘගයන්ගෙන් උන්ගේ ආණ්ඩු බලය පහ කරනු ලැබූ නමුත්, සීමාසහිත කාලයක් උන්ට ජීවත් වන්නට ඉඩ දෙන ලදී.</verse>
				<verse number="13">තවදුරටත් බලා සිටිය දී මම රාත්‍රි දර්ශනවල දී මෙසේ දිටිමි. මනුෂ්‍ය-පුත්‍රයා වැනි කෙනෙක් අහසේ වලාකුළු පිරිවරා අවුත් පෞරාණිකයාණන් වෙත එළඹුණේ ය. උන් වහන්සේ පෞරාණිකයාණන් වෙත පමුණුවනු ලැබූ සේක.</verse>
				<verse number="14">සියලු ජනයන් ද ජාතීන් ද භාෂාවන් ද උන් වහන්සේට සේවය කරන පිණිස පාලන බලය ද ගෞරවය ද රාජ්‍යය ද උන් වහන්සේට දෙන ලද්දේ ය. උන් වහන්සේගේ පාලනය පහ නොවන සදාකාලික පාලනයක් ය. උන් වහන්සේගේ රාජ්‍යය කිසි කලෙක නැති නොවන්නේ ය.”</verse>
				<verse number="15">දානියෙල් වන මාගේ සිත ශෝකාකූල විය; මාගේ හිසට නැඟුණ දර්ශනවලින් මම කැළඹුණෙමි.</verse>
				<verse number="16">මම එහි සිටි අයගෙන් එක් කෙනෙකු ළඟට එළඹ ඒ සියල්ලේ තේරුම මට කියන ලෙස ඔහුගෙන් ඉල්ලුවෙමි. ඔහු කතා කොට, ඒ සියල්ලේ තේරුම මෙසේ පහදා දුන්නේ ය:</verse>
				<verse number="17">“දැවැන්ත මෘගයන් සතරදෙනා නම්, රජවරු සතරදෙනෙකි. ඔව්හු පොළොවෙන් නැඟී එන්නාහ.</verse>
				<verse number="18">එසේ වුව ද, මහෝත්තමයාණන්ගේ ශුද්ධවරයෝ රාජ්‍යය ලැබ සදාකාලයෙන් සදාකාලයට එය භුක්ති විඳින්නෝ ය.</verse>
				<verse number="19">ඊළඟට සතර වන මෘගයා ගැන තතු දැනගන්නට මම කැමැති වීමි. ඒ මෘගයා නම්, සෙසු සියලු මෘගයන්ට වඩා වෙනස් වූ, ඉතාමත් භයානක වූ, යකඩ දත් සහ ලෝකඩ නිය ඇති, ගොදුර පොඩිකර කාදමා ඉතිරි දේ පයින් පාගාදැමූ මෘගයා ය.</verse>
				<verse number="20">එපමණක් නොව, මෘගයාගේ හිසේ තිබුණු අං දසය ගැන ද සියල්ලට වඩා මහත් ලෙස පෙනුණ අඟ, එනම්, හටගත් පසු අං තුනක් හෙළාදැමූ, ඇස් සහ උඩඟු ලෙස කතා කරන කටක් ඇති අඟ ගැන ද දැනගන්නට කැමැති වීමි.</verse>
				<verse number="21">මා බලා සිටිය දී මේ අඟ සැදැහැවතුන්ට විරුද්ධ ව යුද්ධ කර ජයගත් බව මම දිටිමි.</verse>
				<verse number="22">එසේ වූයේ, පෞරාණිකයාණන් පැමිණ මහෝත්තමයාණන්ගේ ශුද්ධවරයන්ට යුක්තිය ඉටු කර දී ශුද්ධවරයන් රාජ්‍යය භුක්ති විඳින කාලය පැමිණෙන තුරු ය.</verse>
				<verse number="23">මනුෂ්‍ය-පුත්‍රයාණෝ පිළිතුරු දෙමින් මෙසේ වදාළ සේක: “සතර වන මෘගයා නම්, සියලු රාජ්‍යවලට වෙනස් වූ, මුළු පොළොව නාස්ති කර පාගාදමා පොඩි කරන හතර වන රාජ්‍යයක් ය.</verse>
				<verse number="24">අං දසය නම්, මේ රාජ්‍යයෙන් පැන නඟින රජවරු දසදෙනෙකි. ඔවුන්ට පසු ව තවත් රජ කෙනෙක් නැඟිටින්නේ ය. ඔහු පළමු කී රජවරුන්ට වඩා වෙනස් වන්නේ ය. ඔහු රජවරුන් තුන්දෙනෙකු පහතට හෙළාදමන්නේ ය.</verse>
				<verse number="25">ඔහු මහෝත්තමයාණන්ට විරුද්ධ ව කතා කරන්නේ ය; මහෝත්තමයාණන්ගේ සැදැහැවතුන්ට පීඩා කරන්නේ ය. ඔහු කාලයන් ද ව්‍යවස්ථාව ද වෙනස් කරන්නට සිතන්නේ ය; සැදැහැවත්හු අවුරුදු තුනහමාරකට ඔහුගේ අතට භාරදෙනු ලබන්නෝ ය.</verse>
				<verse number="26">එහෙත්, අධිකරණ සභාව රැස් වී, ඔහු නැත්තට ම නැති වී යන පිණිස ඔහුගේ පාලනය ඔහු අතින් පැහැරගන්නී ය.</verse>
				<verse number="27">ඉන්පසු, අහස යට තිබෙන සියලු රාජ්‍යවල රජකම ද පාලනය ද මහන්තත්ත්වය ද මහෝත්තමයාණන්ගේ සැදැහැවතුන්ට දෙනු ඇත. ඔවුන්ගේ රාජ්‍යය සදාකාලික ය. සියලු පාලකයන් ඔවුන්ට සේවය කර කීකරු වනු ඇත.”</verse>
				<verse number="28">මාගේ ස්වප්නයේ අවසානය එය වේ. මාගේ සිතිවිලිවලින් මම බොහෝ සේ කැළඹුණෙමි. මාගේ මුහුණ මලානික විය. ඒ කරුණු සියල්ල මාගේ සිතේ මම තබාගතිමි.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">බෙල්ෂෙසර් රජුගේ පාලනයේ තුන් වන අවුරුද්දේ දී දානියෙල් වන මට ඉහත කී දර්ශනයට සමාන තවත් දර්ශනයක් පෙනුණේ ය.</verse>
				<verse number="2">ඒ දර්ශනය මා දකින විට, මා ඒලාම් පළාතෙහි පිහිටි සූසා නම් අග නුවර ඇති ඌලයි නම් ගඟ ළඟ සිටින බව දුටුවෙමි.</verse>
				<verse number="3">මා ඇස් ඔසවා බැලූ විට අං දෙකක් ඇති බැටළුවෙකු ගං ඉවුරෙහි සිටිනු දිටිමි. උගේ අං දිග ය. එහෙත්, එකක් අනිකට වඩා දිග ය. වඩා දිග එක හටගත්තේ පසු ව ය.</verse>
				<verse number="4">ඒ බැටළුවා බස්නාහිර, උතුර හා දකුණ යන දිශාවන්ට අනිනු මම දිටිමි. ඌට විරුද්ධ ව සිටින්නට කිසි මෘගයෙකුට නොහැකි විය. උගේ බලයෙන් බේරෙන්න පුළුවන් කිසිවෙක් නොසිටියේ ය. ඌ හිතුමතේ ක්‍රියා කර බලසම්පන්න විය.</verse>
				<verse number="5">මේ ගැන මා කල්පනා කරමින් සිටිය දී, එළුවෙක් බිම අඩි නො තබා, මුළු පොළොව හරහා බස්නාහිරින් ආවේ ය. උගේ ඇස් අතරේ විශාල අඟක් තිබුණේ ය.</verse>
				<verse number="6">ගං ඉවුරේ සිටිනු මා දුටු, අං දෙකක් ඇති බැටළුවා දෙසට ඌ යමින්, අධික කෝපයෙන් බැටළුවා දෙසට දිව්වේ ය.</verse>
				<verse number="7">ඌ බැටළුවා ළඟට එනු මම දිටිමි. මහත් ක්‍රෝධයෙන් ඌ බැටළුවාට ඇන උගේ අං දෙක බිඳදැමී ය. ඌට විරුද්ධ ව සිටින්නට බැටළුවාට කිසි බලයක් නොතිබුණේ ය. ඌ බැටළුවා බිම දමා පෑගුවේ ය. උගේ බලයෙන් බැටළුවා බේරාගන්නට කිසිවෙක් නොවූ හ.</verse>
				<verse number="8">එළුවා මහා ආඩම්බරයෙන් සිය දස්කම් පෑවේ ය. එහෙත්, ඌ බලයෙන් අගතැන් පත් ව සිටිය දී උගේ මහ අඟ බිඳී ගියේ ය. ඒ වෙනුවට මහ අං සතරක් අහසේ සතර දෙසට නෙරා හටගත්තේ ය.</verse>
				<verse number="9">එයින් එකකින් කුඩා අඟක් නික්මී දකුණටත්, නැගෙනහිරටත්, පලස්තීනය දෙසටත් ඉමහත් බලය පෑවේ ය.</verse>
				<verse number="10">එය අහස් සේනාව කෙරෙහි ද බලය පා, ඒ සේනාවන් සමහරක් ද තාරකාවලින් සමහරක් ද පොළොවට හෙළා පාගාදැමුවේ ය.</verse>
				<verse number="11">එය සේනාධිපතීන්ටත් විරුද්ධ ව බලය පා, උන් වහන්සේට පුදන දිනපතා පූජා යටපත්කර ඔහුගේ ශුද්ධස්ථානය බිඳදැම්මේ ය.</verse>
				<verse number="12">අහස් සේනාව වනසාදැමී ය; දවස්පතා පූජාව කෙලෙසනු ලැබී ය; ඒ අඟ සත්‍යය බිම හෙළුවේ ය. එය කළ හැම දෙයක් සඵලවත් විය.</verse>
				<verse number="13">එවිට ශුද්ධස්ථානයෙන් සැදැහැවතෙක් කතා කොට, ‘මේ දර්ශනයෙන් පෙනුණු අන්දමට, පූජාවන් කොපමණ කල් යටපත් කරනු ඇද් ද? විනාශකාරී අපරාධ කොතෙක් කල් පවතී ද? ශුද්ධස්ථානය හා අහස් සේනාව පාගාදැමීම කොතෙක් කල් පවතී දැ’යි ඇසී ය.</verse>
				<verse number="14">ඔහු පිළිතුරු දෙමින්, ‘රෑ දාවල් දෙදහස් තුන්සියයක් පසු වන තුරු ය, ඉන්පසු ශුද්ධස්ථානය පවිත්‍ර කරනු ලබන්නේ ය’යි කීවේ ය.</verse>
				<verse number="15">දානියෙල් වන මම මේ දර්ශනය දුටු විට එහි තේරුම සෙවීමි. එවිට මනුෂ්‍ය පෙනුමක් ඇති කෙනෙක් මා ඉදිරියේ සිටියේ ය.</verse>
				<verse number="16">“ගාබ්‍රියෙල්, මොහුට දර්ශනය තේරුම් කර දෙන්නැ”යි මොරගසන මනුෂ්‍ය හඬක් ඌලයි ගං ඉවුරු අතරින් මට ඇසුණේ ය.</verse>
				<verse number="17">එවිට ගාබ්‍රියෙල් නම් ඔහු මා සිටි තැනට ආවේ ය. ඔහු ආ විට මම බියපත් වී මුණින් වැටුණෙමි. එහෙත් ඔහු, “මනුෂ්‍ය පුත්‍රය, දර්ශනය අදාළ වන්නේ අන්තිම කාලයට බව තේරුම්ගන්නැ”යි මට කීවේ ය.</verse>
				<verse number="18">ඔහු මා සමඟ කතා කරද්දී මම සිහිසන් නැති ව මුණින් වැටී සිටියෙමි. එහෙත්, ඔහු මාගේ ඇඟට තට්ටු කර මා කෙළින් සිටුවා මෙසේ කීවේ ය:</verse>
				<verse number="19">“දේව උදහස අවසානයේ දී සිදුවන්නට යන දේ නුඹට දන්වමි. මන්ද, දර්ශනය අදාළ වන්නේ අන්තිම කාලයට ය.</verse>
				<verse number="20">“නුඹ දුටු අං දෙක ඇති බැටළුවා නම්, මේදියාවේ ද පර්සියාවේ ද රජවරු ය.</verse>
				<verse number="21">එළුවා නම් ග්‍රීසියේ රජ ය. උගේ ඇස් අතරේ තිබුණ ලොකු අඟ පළමු වන රජු ය.</verse>
				<verse number="22">ඒ අඟ බිඳී ගිය විට ඒ වෙනුවට තවත් අං සතරක් හටගත්තාක් මෙන් ග්‍රීසිය බිඳී ගොස් රාජ්‍යයන් සතරක් හටගන්නේ ය. එහෙත්, මේ එකක් වත් පළමු රාජ්‍යය තරම් බලවත් නොවන්නේ ය.</verse>
				<verse number="23">ඒ රාජ්‍යවල පාලනය අවසානයේ දී අපරාධකාරයන්ගේ පාප ඉහළට ම නැඟුණු කල, රෞද්‍ර පෙනුමක් ඇති, කපටි නුවණක් ඇති රජ කෙනෙක් පැම්ණෙන්නේ ය.</verse>
				<verse number="24">ඔහු බලසම්පන්න වන්නේ ය. ඔහු භයානක ලෙස නැති නාස්ති කරන්නේ ය. ඔහු කරන හැම දෙයකින් ම ඔහු ජය ගන්නේ ය. ඔහු බලවතුන් ද සැදැහැවතුන් ද වර්ණනා කරන්නේ ය.</verse>
				<verse number="25">ඔහු කපටි නුවණින් තමාගේ උපායයන් සාර්ථක කරගන්නේ ය. ඔහු තම උපායයන් හිතා මතා බොහෝ දෙනෙකු ඔවුන් නොදැනුවත් ව සිටිය දී විනාශ කරන්නේ ය. ඔහු අධිපතීන්ගේ අධිපතියාට විරුද්ධ ව ද නැඟිටිනු ඇත. එහෙත්, ඔහු කිසි පිහිටක් නැති ව බිඳ හෙළනු ලබයි.</verse>
				<verse number="26">උදේ හා හවස දුටු දර්ශනයේ තේරුම සැබෑ ය. එහෙත්, ඒ දර්ශනය රහසක් ව තබාගන්න. මන්ද, එය සිදුවන්නට පෙර බොහෝ දවස් ගත විය යුතු ය.”</verse>
				<verse number="27">එවිට දානියෙල් නම් මම ක්ලාන්ත වී, දවස් ගණනක් අසනීප ව සිටියෙමි. ඉන්පසු මම නැඟිට රාජ සේවය කෙළෙමි. මම දර්ශනය ගැන පුදුමයෙන් පුදුමයට පත් ව සිටියෙමි. කිසිවෙකුට එය තේරුම් ගත නොහැකි විය.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">මේ වනාහි කල්දිවරුන්ගේ රාජ්‍යය කෙරෙහි රජකමට පත් කරනු ලැබූ, මේදවරුන්ගේ වංශයේ අහෂ්වේරො‍ෂ්ගේ පුත්‍ර වූ දාරියුස් රජුගේ පළමු වන අවුරුද්දේ සිදු වූවකි.</verse>
				<verse number="2">ඔහුගේ රජ දවස පළමු වන අවුරුද්දේ දී දානියෙල් නම් මම ශුද්ධ ලියවිලි කියවමින් සමිඳාණන් වහන්සේ දිවැසිවර ජෙරමියාට එළිදරව් කර තිබුණු පරිදි, ‘ජෙරුසලම අවුරුදු සැත්තෑවක් ගත වන තුරු ජරාවාස ව තිබෙන්නේ යැ’යි තේරුම්ගතිමි.</verse>
				<verse number="3">එවිට මම, නිරාහාර ව, ගෝණි රෙදි හැඳ, අළු තවරාගෙන, යාච්ඤාවෙනුත්, කන්නලව්වෙනුත් දෙවි ස්වාමීන් වහන්සේ යදින පිණිස මාගේ මුහුණ උන් වහන්සේ දෙසට හැරෙව්වෙමි.</verse>
				<verse number="4">මාගේ දෙවි ස්වාමීන් වහන්සේට මම පාපොච්චාරණයක් කරමින් මෙසේ යාච්ඤා කෙළෙමි: “අහෝ සමිඳාණන් වහන්ස, ඔබ වහන්සේ උත්තමතම වූ බියකරු වූ දෙවියන් වහන්සේ ය. ඔබට ප්‍රේම කොට ඔබේ ආඥා රක්ෂා කරන්නන්ට ඔබ කරුණා කරන සේක; ගිවිසුම රක්ෂා කරන සේක.</verse>
				<verse number="5">දෙවියන් වහන්ස, අපි පව් කෙළෙමු. අයුතුකම් කෙළෙමු; දුෂ්ටකම් කෙළෙමු; කැරලි ගැසීමු. ඔබේ ශික්ෂාවලින් ද විනිශ්චයවලින් ද ඉවත් ව ගියෙමු.</verse>
				<verse number="6">ඔබ වහන්සේගේ නාමයෙන් අපේ රජවරුන්ටත්, අපේ අධිපතීන්ටත්, අපේ පියවරුන්ටත්, රට වැසියන් සියල්ලන්ටත් කතා කළ ඔබේ සේවක දිවැසිවරුන්ට අපි ඇහුම්කන් නුදුන්නෙමු.</verse>
				<verse number="7">අහෝ ස්වාමීනි! ධර්මිෂ්ඨකම ඇත්තේ ඔබට ය; එහෙත්, අප හැමට ඇත්තේ, මුහුණ පෙන්නන්නට බැරි තරම් ලජ්ජාව ය. ඒ ලජ්ජාවට පත් වී සිටින්නේ, ජුදාවේ ජනයා හා ජෙරුසලමේ පුරවැසියන් වන අපි හැම ය; ඔබට විරුද්ධ ව ද්‍රෝහිකම් කළ නිසා ඔබ විසින් පන්නා දමනු ලැබ, අහලපහල හා දුරබැහැර සියලු රටවල සිටින සකල ඉශ්රායෙල්වරුන් වන අපි හැම ය.</verse>
				<verse number="8">සමිඳාණන් වහන්ස, අප ඔබට විරුද්ධ ව පව් කර ඇති නිසා, අපට එනම්, අපේ රජවරුන්ටත්, අපේ අධිපතීන්ටත්, අපේ පියවරුන්ටත්, ඇත්තේ, මුහුණ පෙන්වන්නට බැරි ලජ්ජාව ය.</verse>
				<verse number="9">උන් වහන්සේට විරුද්ධ ව අප කැරලි ගසා ඇති නමුත්, අපේ දෙවි ස්වාමීන් වහන්සේ දයාන්විත ය, ක්ෂමාගුණයෙන් යුක්ත ය.</verse>
				<verse number="10">අපේ සමිඳාණන් වහන්සේට අපි කීකරු නොවීමු. උන් වහන්සේ සිය දිවැසිවරුන් ලවා අප ඉදිරියේ තැබූ උන් වහන්සේගේ උපදෙස් අනුව අපි නොහැසිරුණෙමු.</verse>
				<verse number="11">මුළු ඉශ්රායෙල් ජනයා ඔබේ ව්‍යවස්ථාව කඩ කොට ඔබේ බසට කීකරු නොවී ඔබ වෙතින් හැරී ගොස් ඇත. මේ අන්දමින් අප පව් කර ඇති බැවින්, දෙවියන් වහන්සේගේ සේවක මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති සාපය ද දඬුවම ද අප පිට පැමිණ ඇත.</verse>
				<verse number="12">මෙවැනි මහා විපතක් අප පිට පමුණුවමින්, උන් වහන්සේ අපටත්, අප පාලනය කළ පාලකයන්ටත් විරුද්ධ ව වදාළ දේ ඉෂ්ට කළ සේක. ජෙරුසලම පිට පැමිණි මේ විපත්තිවලට සමාන විපත්ති මුළු අහස යට කිසි ම තැනක සිදු වී නැත.</verse>
				<verse number="13">මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන ලෙස මේ සියලු විපත්ති අප පිට පැමිණි නමුත්, අපේ අයුතුකම්වලින් හැරී ඔබේ සැබෑකම තේරුම්ගන්න පිණිස අපේ සමිඳාණන් වහන්සේට අපි කන්නලව් නොකෙළෙමු.</verse>
				<verse number="14">එබැවින් සමිඳාණන් වහන්සේ බලා සිට මේ විපත්ති අපට පැමිණෙවූ සේක. මන්ද, අපේ සමිඳාණන් වහන්සේ කරන හැම ක්‍රියාවක් ම යුක්ති සහගත ය. අපි උන් වහන්සේගේ බසට කීකරු නොවීමු.</verse>
				<verse number="15">“දැන් ඉතින් අපේ දෙවි ස්වාමීන් වහන්ස, ඔබේ බලය පා මිසරයෙන් ඔබේ සෙනඟ පිටතට ගෙනවුත්, අද කීර්තිමත් නාමයක් දරන අපේ දෙවි ස්වාමීන් වහන්ස, අපි පව් කෙළෙමු, දුෂ්ටකම් කෙළෙමු.</verse>
				<verse number="16">අනේ ස්වාමීනි, ඔබේ සාධාරණකම අනුව, ඔබේ උදහසත් කෝපයත්, ඔබේ ශුද්ධ කන්ද වන, ශුද්ධ නුවර වන ජෙරුසලමෙන් පහ වේවා. මන්ද, අපේ පාප සහ අපේ පියවරුන්ගේ අපරාධ නිසා, මුළු ජෙරුසලම සහ ඔබේ සෙනඟ අප අවට සිටින සියල්ලන්ට නින්දාවක් වී ඇත.</verse>
				<verse number="17">එබැවින් අපේ දෙවියන් වහන්ස, ඔබේ මෙහෙකරුවාගේ යාච්ඤාව ද ඔහුගේ කන්නලව්ව ද අසා, ඔබේ ම ගෞරවය සඳහා පාළු වී ගිය ශුද්ධස්ථානය කෙරෙහි ඔබේ මුහුණ බැබළෙවුව මැනව.</verse>
				<verse number="18">මාගේ දෙවියන් වහන්ස, ඔබේ කන් යොමු කර ඇසු ව මැනව; ඔබේ ඇස් ඇර අපේ අසරණකම ද ඔබේ නාමය දරන නුවර ද බැලුව මැනව. මන්ද, අපේ කන්නලව් අප ඔබ ඉදිරියේ ඔප්පු කරන්නේ, අපේ ම ධර්මිෂ්ඨකමක් නිසා නොව, ඔබේ ම මහත් දයාව නිසා ය.</verse>
				<verse number="19">සමිඳාණන් වහන්ස, ඇසුව මැනව, සමිඳාණන් වහන්ස, කමා වුව මැනව; සමිඳාණන් වහන්ස, සවන් දී ක්‍රියා කළ මැනව. මාගේ දෙවියන් වහන්ස, ඔබේ ගෞරවය උදෙසා ප්‍රමාද නුවුව මැනව. මන්ද, ඔබේ නුවරත්, ඔබේ සෙනඟත් ඔබේ නාමය දරන බැවිනි.”</verse>
				<verse number="20">මම මෙසේ කතා කරමින් ද යාච්ඤා කරමින් ද මාගේ පාපයත්, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ පාපයත් ගැන පාපොච්චාරණය කරමින් ද මාගේ සමිඳාණන් වහන්සේගේ ශුද්ධ කන්ද උදෙසා උන් වහන්සේ ඉදිරියේ මාගේ කන්නලව්ව ඔප්පු කරමින් ද සිටියෙමි.</verse>
				<verse number="21">එසේ මා යාච්ඤා පවසමින් සිටිය දී ම, කලින් දර්ශනයෙන් මා දුටු මනුෂ්‍යයා වූ ගාබ්‍රියෙල් ශීඝ්‍රයෙන් පියාසර කර සවස පූජා වේලාවට පමණ මා ළඟට පැමිණියේ ය.</verse>
				<verse number="22">ඔහු පැහැදිලි ලෙස මට කතා කොට මෙසේ කී ය: “එම්බා දානියෙල්, මා පිටතට ආවේ, නුඹට තේරුම්ගැනීමේ තියුණු නුවණ දෙන පිණිස ය.</verse>
				<verse number="23">නුඹ කන්නලව් කරන්නට පටන්ගත් විට ආඥාවක් දෙන ලද්දේ ය. එය නුඹට දන්වන්නට මම පැමිණියෙමි. මන්ද, නුඹ විශේෂයෙන් තෝරා ගනු ලැබූ කෙනෙකි. ඒ නිසා කාරණය සලකා බලා දර්ශනය තේරුම්ගන්න.</verse>
				<verse number="24">“නුඹේ ජාතිය හා නුඹේ ශුද්ධ නුවර සම්බන්ධයෙන් සති සැත්තෑවක් නියමකර ඇත. එවිට කැරලි ගැසීම නතර කරනු ලබන්නේ ය; පාපය කෙළවර කරනු ලබන්නේ ය; අපරාධය සමා කරනු ලබන්නේ ය; සදාතන යුක්තිය පිහිටුවනු ලබන්නේ ය; දර්ශන හා දිවැස් වැකි ස්ථිර කරනු ලබන්නේ ය; අතිශුද්ධස්ථානය සංස්කාර කරනු ලබන්නේ ය.</verse>
				<verse number="25">එබැවින් මෙය දැනගෙන තේරුම්ගන්න. ජෙරුසලම නැවත පිහිටුවා ගොඩනඟන්නට කියා ආඥාව නිකුත් වූ තැන් පටන්, අභිෂේක ලත් අධිපතියාගේ පැමිණීම දක්වා සති හතක් ගත වන්නේ ය. ඉන්පසු කරදර සහිත සති හැටදෙකක කාලය තුළ වුව ද එහි වීථි ද ප්‍රාකාර ද නැවත ගොඩනඟනු ලැබේ.</verse>
				<verse number="26">සති හැටදෙකකට පසු අභිෂේක ලත් අධිපතියා සිඳදමනු ලබන්නේ ය. ඔහුගේ තැන ගන්නට කිසිවෙක් නොවන්නේ ය. ආක්‍රමණය කරන අධිපතියා සහ ඔහුගේ පිරිස නුවර සහ ශුද්ධස්ථානය විනාශ කරදමන්නෝ ය. එය ජල ගැල්මකින් මෙන් කෙළවර වන්නේ ය. අවසානය දක්වා ම යුද්ධ පවතින්නේ ය. දරුණු දුක නියම වී ඇත.</verse>
				<verse number="27">ඒ අධිපතියා බොහෝ දෙනෙකු සමඟ සතියකට වලංගු ගිවිසුමක් කරගන්නේ ය. සතියේ භාගයක් තුළ යාග ද ආහාර පූජා ද නවත්වනු ලැබේ. මේ සියල්ලේ උග්‍රාවස්ථාවේ දී බිහිසුණු දූෂිතය දේව මාලිගාව මත පැමිණෙන්නේ ය. මෙසේ වන්නේ, අන්තිමේ දී බිහිසුණු දූෂිතයට නියම කර ඇති විනාශය පැමිණෙන තුරු ය.”</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">පර්සියා රජු වූ සයිරස්ගේ තුන් වන අවුරුද්දේ දී බෙල්ටෙෂෙසර් නම් දානියෙල්ට දර්ශනයක් එළිදරව් කරන ලදී. එය සත්‍ය වූ දර්ශනයකි. එය මහා යුද්ධයක් පිළිබඳ ව ය. ඔහු එහි අර්ථය ගැන මෙනෙහි කර දර්ශනය තේරුම්ගත්තේ ය.</verse>
				<verse number="2">“ඒ කාලයේ දී දානියෙල් නම් මම සති තුනක් මුළුල්ලේ ම වැලපෙමින් සිටියෙමි.</verse>
				<verse number="3">ඒ සති තුන ම පසු වන තුරු මා රස ආහාර කෑවේ වත්, මස් හෝ මුද්‍රික පානය හෝ මාගේ කටට ගත්තේ වත්, තෙල් ගාගත්තේ වත් නැත.</verse>
				<verse number="4">“පළමු වන මාසයේ විසිහතර වන දා මම ටයිග්‍රීස් නම් මහා ගංගාව අසබඩ සිටියෙමි.</verse>
				<verse number="5">එසේ සිටිය දී මා ඇස් ඔසවා බැලූ විට, සිනිඳු හණ රෙදි හැඳගත්, දඹ රන් බඳ පටියකින් ඉඟටිය බැඳගත් මිනිසෙකු දිටිමි.</verse>
				<verse number="6">ඔහුගේ ශරීරය වෛදූර්ය කාන්තිය මෙන් ය; මුහුණ විදුලියේ පෙනීම වැනි ය. ඇස් ගිනි පහන් මෙන් ය; අත් පා ඔප් නැඟුවා වූ ලෝකඩ මෙන් ය; කටහඬ සමූහයක කටහඬ වැනි ය.</verse>
				<verse number="7">“ඒ දර්ශනය දුටුවේ දානියෙල් නම් මම පමණෙකි. මා සමඟ සිටි අය ඒ දර්ශනය දුටුවේ නැත. එහෙත්, ඔව්හු මහා භීතියකින් කම්පා වී සැඟවෙන පිණිස පලා ගියහ.</verse>
				<verse number="8">ඉතිරි ව සිටියේ මම පමණෙකි. මම ඒ දර්ශනය දිටිමි. මාගේ ශක්තිය පහ ව ගියේ ය. මාගේ කාන්තිමත් පෙනුම මලානික විය; කිසි ශක්තියක් මට නො වී ය.</verse>
				<verse number="9">එවිට ඔහුගේ කටහඬ මට ඇසුණේ ය. ඒ කටහඬ මට ඇසුණු විට මම සිහිසන් නැති ව මුණින්තළා වී බිම වැටුණෙමි.</verse>
				<verse number="10">එවිට, කෙනෙක් මා අතින් අල්ලා මට දණින් ද අත් දෙකෙන් ද සිටින්නට සැලැස්සුවේ ය.</verse>
				<verse number="11">“ඔහු මට කතා කොට, ‘විශේෂයෙන් තෝරාගනු ලැබූ මනුෂ්‍යයෙකු වන දානියෙල්, මා නුඹට කියන්නට යන වචනවලට සවන් දී, නැඟිට කෙළින් සිටින්න. මන්ද, නුඹ වෙත මම එවන ලද්දෙමි’යි කී ය. ඔහු ඒ වචන මට කී විට මම වෙවුලමින් සිටගත්තෙමි.</verse>
				<verse number="12">“ඔහු මට කතා කොට, මෙසේ කී ය: ‘දානියෙල්, බිය නොවන්න. නුඹ කරුණු තේරුම්ගැනීමට සැදී පැහැදී සිටින්නෙහි ය. නුඹේ දෙවියන් වහන්සේට නුඹ යටහත් වූ පළමු වන දා පටන් නුඹේ වචන අසනු ලැබී ය. මා පැමිණියේ නුඹේ වචන නිසා ය.</verse>
				<verse number="13">පර්සියා රාජ්‍යයේ අධිපතියා විසිඑක් දවසක් මට විරුද්ධ ව සිටියේ ය. එසේ වුව ද, ප්‍රධාන අධිපතීන්ගෙන් එක් කෙනෙකු වන මිකායෙල් තෙමේ, මා එහි තනි ව’ සිටින බව දැක, මට උපකාර කරන්නට ආයේ ය.</verse>
				<verse number="14">දැන් මා මෙහි පැමිණ සිටින්නේ, මතු දවස නුඹේ සෙනඟට සිදු වන්නට යන දේ තේරුම් කර දෙන පිණිස ය. මේ දර්ශනය අනාගතය පිළිබඳ ව ය.’ “</verse>
				<verse number="15">ඔහු මෙලෙස මට කතා කරද්දී මම නිහඬ ව හිස නමාගෙන සිටියෙමි.</verse>
				<verse number="16">එවිට මිනිස් පෙනීමක් ඇති කෙනෙක් මාගේ තොල් ස්පර්ශ කෙළේ ය. මම ද මාගේ කට ඇර මා ඉදිරියේ සිටි තැනැත්තාට කතා කරමින්, “මාගේ ස්වාමීනි, මේ දර්ශනය දැකීමෙන් මම වේදනාවට පත් ව සිටිමි. ශක්තියක් ද මා තුළ නැත.</verse>
				<verse number="17">කිසි ශක්තියක් මා තුළ නැති නිසාත්, හුස්ම ටික වත් නැති නිසාත්, මාගේ ස්වාමීන් වන ඔබ සමඟ කතා කරන්නට ඔබේ මෙහෙකරු වන මට හැක්කේ කෙසේ දැ”යි ඇසීමි.</verse>
				<verse number="18">එවිට මිනිස් පෙනීමක් ඇති කෙනෙක් මා ස්පර්ශ කර මා ශක්තිමත් කෙළේ ය.</verse>
				<verse number="19">ඔහු මට කතා කර, “විශේෂයෙන් තෝරාගනු ලැබූ මනුෂ්‍යය, බිය නොවන්න; නුඹට සාමදානය වේවා; ශක්තිමත් වන්න, ධෛර්යවත් වන්නැ”යි කී ය. ඔහු කතා කළ විට, මම ශක්තිමත් වී, “ස්වාමීනි කතා කළ මැනව; ඔබ මා ශක්තිමත් කෙළෙහි ය”යි කීමි.</verse>
				<verse number="20">එවිට ඔහු මෙසේ කී ය: “මම නුඹ වෙත කුමන කරුණක් නිසා ආවෙම් දැ යි නුඹ දන්නෙහි ද? පළමු කොට මම පර්සියාවේ අධිපතියා සමඟ සටන් කරන්නට ආපසු යන්නෙමි. ඉන්පසු ග්‍රීසියේ අධිපතියා එන්නේ ය.</verse>
				<verse number="21">කෙසේ වුව ද, සත්‍යතා පොතේ ලියා ඇති දේ නුඹට දන්වන්නෙමි. ඉහත කී අයට විරුද්ධ ව සටන් කිරීමට නුඹලාගේ අධිපතියා වන මිකායෙල් මිස මට උපකාර කරන වෙන කිසිවෙක් නැත.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">මම මේදීය ජාතික දාරියුස්ගේ පළමු වන අවුරුද්දේ දී ඔහුට උපකාරයක් ද ආරක්ෂාවක් ද පිණිස සිටියෙමි.</verse>
				<verse number="2">දැන් මම මේවා පිළිබඳ සත්‍යය නුඹට දන්වන්නෙමි. “පර්සියාව තුළ තව රජවරු තුන්දෙනෙක් පහළ වන්නාහ. සතරවැන්නා සියල්ලන්ට වඩා ධනවත් වන්නේ ය. ඔහුගේ වස්තුව කරණකොටගෙන ඔහු බලවත් වූ පසු ග්‍රීක් රාජ්‍යයට විරුද්ධ ව සියල්ලන් පොළඹවන්නේ ය.</verse>
				<verse number="3">“එවිට බලසම්පන්න රජෙක් නැඟිට මහත් පරාක්‍රමයෙන් ආණ්ඩු කරමින් තමාගේ හිතුමතේ ක්‍රියා කරන්නේ ය.</verse>
				<verse number="4">ඔහු බලයට පත් වූ වහා ම ඔහුගේ රාජ්‍යය බිඳී කොටස් සතරකට බෙදී යන්නේ ය. ඔහුගේ දරු පරම්පරාවට කිසි උරුමයක් නොවන්නේ ය. ඔහුගෙන් පසු එන්නන්ට ඔහුගේ රාජ්‍යය වැනි රාජ්‍යයක් ඇති නොවන්නේ ය. ඔහුගේ රාජ්‍යය උදුරා දමනු ලැබ ඔවුන්ට නොව, අන්‍යයන්ට දෙනු ලබන්නේ ය.</verse>
				<verse number="5">“එකල මිසරයේ රජ බලවත් වන්නේ ය. ඔහුගේ අධිපතීන්ගෙන් එක් කෙනෙක් ඔහුට වඩා බලවත් වී ආණ්ඩු කරන්නේ ය. ඔහුගේ රාජ්‍යය බලසම්පන්න රාජ්‍යයක් වන්නේ ය.</verse>
				<verse number="6">අවුරුදු ගණනක් ගත වූ පසු ඒ රජවරු දෙදෙන සුහද ගිවිසුමක් කරගන්නෝ ය. ඒ සාම ගිවිසුම ස්ථිර කරන පිණිස මිසරයේ රජුගේ දුව උතුරු සිරියාවේ රජු සමඟ විවාහ වන්නී ය. එහෙත්, ඇගේ බලය පෑමට ඈට නොහැකි වන්නේ ය. රජු ද ඒ දෙපොළගේ දරුවන් ද පවතින්නේ නැත. ඈ ද ඇගේ සපිරිවර ද දරුවා ද ස්වාමි පුරුෂයා ද පාවා දෙනු ලබන්නෝ ය.</verse>
				<verse number="7">එහෙත්, ඇගේ ඥාතියෙක් මිසරයේ රජකමට පත් වූ විට, ඔහු සිරියාවේ රජුට විරුද්ධ ව සේනාවක් ගෙන ගොස්, ඔහුගේ බලකොටුවට ඇතුල් වී සටන් කොට ඔහු පරාජය කරන්නේ ය.</verse>
				<verse number="8">ඔහු සිරියන්වරුන්ගේ දෙවිවරුන් ද වාත්තු රූප ද ඒ දෙවිවරුන්ට කැප කරන ලද අනර්ඝ රිදී රත්රන් බඩු ද පැහැරගෙන මිසරයට යන්නේ ය. ඉන්පසු ඔහු අවුරුදු ගණනකට සිරියාවේ රජුට පහර දීමෙන් වැළකී සිටින්නේ ය.</verse>
				<verse number="9">ඒ අතර, සිරියාවේ රජු ටික කලකට මිසරය ආක්‍රමණය කර ආපසු සිය රටට පසු බසින්නේ ය.</verse>
				<verse number="10">කෙසේ වෙතත් සිරියා රජුගේ පුත්‍රයන් සටන් කොට, සේනාවන් මහ රාශියක් රැස්කර, ගලා යන ගංවතුර සේ කඩා බිඳ ඉදිරියට ගොස් සතුරු රජුගේ බලකොටුව දක්වා ආක්‍රමණය කරනු ඇත.</verse>
				<verse number="11">එවිට රජු ඉමහත් කෝපයෙන් ඉදිරියට අවුත් සිරියාවේ රජුට පහර දෙන්නේ ය. සිරියාවේ රජු මහා සේනාවක් සූදානම් කරගෙන ප්‍රතිප්‍රහාර දෙන නමුත්, ඒ සේනාව පරාජයට පත්වන්නේ ය.</verse>
				<verse number="12">මේ ජයග්‍රහණයෙන් රජ උද්දාම වී, සතුරු සේනාවල දසදහස් දෙනා මරාදමන්නේ ය. එහෙත්, ඔහුගේ ජයග්‍රහණය වැඩි කල් පවත්වාගැනීමට ඔහුට නොහැකි වන්නේ ය.</verse>
				<verse number="13">“මන්ද, අවස්ථාව පැමිණි විට සිරියාවේ රජු පළමු සේනාවට වඩා විශාල සේනාවක් රැස් කරගෙන, ඇති තරම් යුද්ධෝපකරණ සහිත ව මහ සේනාවක් සමඟ ආපසු එන්නේ ය.</verse>
				<verse number="14">ඒ කාලවල දී බොහෝ දෙනෙක් මිසරයේ රජුට විරුද්ධ ව සටනට එළඹෙන්නෝ ය. දර්ශනයේ දැක්වෙන පරිදි නුඹේ සෙනඟ වන ජුදෙව්වරුන් අතරෙන් ත්‍රස්තවාදීහු ද ඉදිරිපත් වන්නෝ ය. එහෙත්, ඔවුන්ගේ අදහස ඉෂ්ට නොවන්නේ ය.</verse>
				<verse number="15">එවිට සිරියාවේ රජ පැමිණ, තරයේ බලකොටු බැඳ ඇති නගරය වටලා එය අල්ලාගන්නේ ය. මිසරයේ රජුගේ සේනාවන්ටත්, ඔහුගේ තෝරාගත් හමුදාවන්ටත් විරුද්ධ ව නැඟී සිටින්නට නොහැකි වන්නේ ය. එසේ කිරීමට ඔවුන්ට ශක්තියක් නොවන්නේ ය.</verse>
				<verse number="16">සිරියාවේ රජ තමන් රිසි පරිදි කරන්නේ ය. ඔහුට විරුද්ධ ව සිටින්නට කිසිවෙකුට පුළුවන්කමක් නැත. ඔහු පලස්තීනයේ සිය බලය පිහිටුවා එය සහමුලින් ම තම බලයට යටත් කරගන්නේ ය.</verse>
				<verse number="17">“මිසරයේ රජුගේ රාජ්‍යයන් යටපත් කිරීමට සිරියාවේ රජ අධිෂ්ඨාන කරගන්නේ ය. ඒ සඳහා ඔහු සමඟ සාම ගිවිසුමක් කරගෙන, රාජ්‍යය පෙරළාදැමීමට කාන්තාවක ඔහුට සරණකොට දෙන්නේ ය. එහෙත්, ඒ උපාය හරියන්නේ වත්, ඔහුගේ අදහස ඉෂ්ටවන්නේ වත් නැත.</verse>
				<verse number="18">ඉන්පසු ඔහු සිය අවධානය මුහුදුබඩ පළාත් දෙසට යොමුකර ඒවා බොහොමයක් අල්ලාගන්නේ ය. එහෙත්, විදේශීය අධිපතියෙක් ඔහුගේ නින්දිත ක්‍රියා නතර කොට ඔහු පිටට නින්දාව පමුණුවන්නේ ය.</verse>
				<verse number="19">එවිට ඔහු සිය රටේ බලකොටුවලට හැරී එන්නේ ය. එහෙත් ඔහු එහි දී විපතට පත් වී වැනසී යන්නේ ය.</verse>
				<verse number="20">“ඒ පුරප්පාඩුව පිරවීමට බලහත්කාරයෙන් කප්පම් අය කරන පිණිස රාජකීය පිරිවරක් සමඟ ම නිලධාරියෙකු එවන රජ කෙනෙක් එන්නේ ය. එහෙත්, ඔහු ස්වල්ප දිනකින් කෝලාහලයකින් වත්, යුද්ධයකින් වත් නොව අප්‍රසිද්ධියෙන් විනාශයට පත්වන්නේ ය.”</verse>
				<verse number="21">ඒ මිනිසා තවදුරටත් මෙසේ විස්තර කෙළේ ය: “ඔහුගේ තැන රජයේ ගෞරවය නොදෙන ලද නීච කෙනෙක් ගන්නේ ය. ඔහු හදිසියෙන් පැමිණ කූටෝපක්‍රමයකින් රාජ්‍යය ගන්නේ ය.</verse>
				<verse number="22">ඔහු ඉදිරියෙන් සේනාවක් සහමුලින් ම පන්නාදමනු ලබයි; ගිවිසුමක් කරගත් අධිපතියා ද බිඳ හෙළනු ලබයි.</verse>
				<verse number="23">ඔහු වංචනික ගිවිසුම් කරගෙන, ඔහුට පක්ෂ ව ස්වල්ප දෙනෙකු සිටියත්, බලයට පත්වන්නේ ය.</verse>
				<verse number="24">ඔහු දේශයේ ඉසුරුමත් තැන්වලට කඩාවැදී හත්මුතු පරම්පරාවේ වත් නොකරන ලද දේ කරන්නේ ය. ඔහු උදුරාගත් බඩු ද පැහැරගත් බඩු ද වස්තුව ද සිය අනුගාමිකයන්ට බෙදා දෙන්නේ ය. ඔහු බලකොටුවලට විරුද්ධ ව උපායයන් යොදාගන්නේ ය. එහෙත්, එය ස්වල්ප කලකට පමණි.</verse>
				<verse number="25">“ඔහු ධෛර්යයත්, බලයත් උපදවාගෙන මිසරයේ රජුට විරුද්ධ ව මහා සේනාවක් ගෙන යන්නේ ය. මිසරයේ රජ ද අති විශාල බලසම්පන්න සේනාවක් සමඟ යුද්ධයට එළඹෙන්නේ ය. එහෙත්, ද්‍රෝ‍්හීන් විසින් ඔහුට විරුද්ධ ව යොදනු ලබන උපායයන් නිසා ඔහුගේ සටන සාර්ථක නොවන්නේ ය.</verse>
				<verse number="26">ඔහුගේ භෝජනයෙන් වළඳන අය ම ඔහුගේ වැටීමට හේතු වන්නෝ ය. ඔහුගේ සේනාව විසුරුවනු ලැබ බොහෝ දෙනෙකු මරණයට පත් වනු ඇත.</verse>
				<verse number="27">මේ රජවරු දෙදෙනා ම වංචා සහගත සිත් ඇති ව එක මේසයේ හිඳගෙන ඔවුනොවුන්ට බොරු කියන්නෝ ය. එහෙත්, එයින් කිසි වැඩක් වන්නේ නැත. මන්ද, නියමිත කාලයක් පැමිණෙන්නට තිබෙන බැවිනි.</verse>
				<verse number="28">එවිට සිරියාවේ රජ බොහෝ වස්තු ඇති ව සිය දේශයට ආපසු එන්නේ ය. ඔහු එසේ කරන්නේ, ශුද්ධ ගිවිසුමට විරුද්ධ ව සිතේ බලවත් කෝපයෙන් තමා කැමැති දේ කරමින් ය.</verse>
				<verse number="29">“නියමිත කාලයේ දී ඔහු නැවත මිසරයට විරුද්ධ ව සටනට යන්නේ ය. එහෙත්, මේ ගමන පළමු ගමන මෙන් නොවන්නේ ය.</verse>
				<verse number="30">මන්ද, ඔහුට විරුද්ධ ව රෝමවරු නැව්වලින් එන්නෝ ය. ඔහු බිය වී පසුබසින්නේ ය. ඔහු කලකිරී, කෝප වී, ශුද්ධ ගිවිසුමට විරුද්ධ ව තමා කැමැති දේ කර ශුද්ධ ගිවිසුම අත් හළ අයට සැලකිලි දක්වන්නේ ය.</verse>
				<verse number="31">ඔහු විසින් යවනු ලබන සේනාවන් පැමිණ බලකොටුව ද ශුද්ධස්ථානය ද කෙලෙසා දමා දෛනික පූජා නතර කොට බිහිසුණු දූෂිතය පිහිටුවන්නේ ය.</verse>
				<verse number="32">ගිවිසුමට ද්‍රෝ‍්හිවන්නන් ඔහු ඉච්ඡා බසින් දිනාගන්නේ ය. එහෙත්, තමන්ගේ දෙවියන් වහන්සේ හඳුනන අය ස්ථිර ව සිට ඔහුට විරුද්ධ ව නැඟී සිටින්නෝ ය.</verse>
				<verse number="33">ජාතියේ ඥානවන්ත නායකයෝ පොදු ජනයාට නිසි මඟපෙන්වීම දෙන්නෝ ය. එහෙත්, ටික කලකට ඔව්හු ද ගින්නටත් කඩුවටත්, දාසකමටත්, කොල්ලකෑම්වලටත් ගොදුරු වන්නෝ ය.</verse>
				<verse number="34">කෙසේ වෙතත් ඔවුන්ට ස්වල්ප පිහිටක් වුව ද ලැබෙන්නේ ය. බොහෝ දෙනෙක් චාටුවෙන් ඔවුන්ට බැඳෙන්නෝ ය.</verse>
				<verse number="35">ඥානවන්ත නායකයන්ගෙන් සමහර දෙනෙක් පරීක්ෂා කරනු ලබන පිණිසත්, පිරිසිදු කරනු ලැබ දීප්තිමත් කරනු ලබන පිණිසත් උවදුරට ගොදුරු වන්නෝ ය. එසේ වන්නේ, නියමිත අවසාන කාලය එන තෙක් පමණි.</verse>
				<verse number="36">“රජ ද තමන් රිසි පරිදි ක්‍රියා කර, සියලු දෙවිවරුන්ට වඩා තමා උසස් කරගෙන, දේවාතිදෙවියන්ට විරුද්ධ ව භයානක අපහාසික වචන පවසන්නේ ය. දේව උදහස ඉෂ්ට වන තුරු ඔහු සඵලවත් වන්නේ ය. මන්ද, නියම කර ඇති දේ ඉෂ්ට වන්නේ ය.</verse>
				<verse number="37">ඔහු තමාගේ පියවරුන්ගේ දෙවිවරුන් වත්, ස්ත්‍රීන් ප්‍රිය කරන දෙවියා වත්, අන් කිසි දෙවියෙකු වත් නොසලකා, සියල්ලන්ට වඩා තමා උසස් කොට සලකන්නේ ය.</verse>
				<verse number="38">එහෙත්, තමාගේ පියවරුන් නොදත්, බලකොටුවල දෙවියාට ඔහු ගරු කොට රන් රිදීවලින් ද මැණික්වලින් ද අනර්ඝ දෙයින් ද ඔහු පුදනු ඇත.</verse>
				<verse number="39">තමාගේ බලවත් ම බලකොටු ආරක්ෂා කරගන්න පිණිස ඔහු විදේශීය දෙවියෙකු අදහන සෙනඟක් යොදාගන්නේ ය. ඔහු පිළිගන්න අයට ඔහු ගරුනම්බු දෙන්නේ ය. ඔවුන් සාමාන්‍ය ජනයා කෙරෙහි ආණ්ඩුකාරයන් කොට පත් කරන්නේ ය. සිය වාසිය තකා රටේ ඉඩකඩම් විකුණන්නේ ය.</verse>
				<verse number="40">“නියමිත අවසාන කාලයේ දී, මිසරයේ රජ ඔහුට විරුද්ධ ව පැමිණෙන්නේ ය. එහෙත්, සිරියාවේ රජු සුළි සුළඟක් සේ රථවාහන ද අසරුවන් ද බොහෝ නැව් ද සමඟ ඔහුට විරුද්ධ ව සටනට එළඹෙන්නේ ය. ඔහු ගලා යන ජලගැල්මක් සේ රටවල් උඩින් කඩා බිඳගෙන යන්නේ ය.</verse>
				<verse number="41">පලස්තීන දේශයටත් ඔහු කඩා වදින්නේ ය. රටවල් බොහොමයක් වැටෙන්නේ ය. එහෙත්, ඒදොම්, මෝවබ් හා අම්මොන්වරුන්ගේ ප්‍රධාන කොටස් ඔහුගේ අතින් බේරෙන්නේ ය.</verse>
				<verse number="42">ඔහු රටවලට පහර දෙන්නේ ය. මිසරය ද ඔහුගෙන් බේරෙන්නේ නැත.</verse>
				<verse number="43">මිසරයේ නිදන් කොට ඇති රන් රිදී හා සකල අනර්ඝ දේ ඔහු සිය බලයට පවරාගන්නේ ය. ලිබියන්වරු ද එතියෝපියන්වරු ද ඔහුට බැඳෙන්නෝ ය.</verse>
				<verse number="44">එහෙත්, නැගෙනහිරෙන් ද උතුරෙන් ද පැමිණෙන ආරංචිවලට ඔහු කලබල වී බොහෝ දෙනෙකු සිඳබිඳදමා සමූලඝාතනය කිරීමට ක්‍රෝධයෙන් පිටත් වන්නේ ය.</verse>
				<verse number="45">ඔහු මාලිගාවක් වැනි ඔහුගේ මණ්ඩපය මුහුදටත්, අලංකාර කන්දටත් අතරේ පිහිටුවන්නේ ය. එහෙත්, ඔහුගේ අවසානය පැමිණෙන්නේ ය. ඔහුට උපකාර කරන්නට කිසිවෙක් නොවන්නේ ය.”</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">ඒ මිනිසා තවදුරටත් මෙසේ කීවේ ය: ඒ කාලයේ දී, නුඹේ සෙනඟ භාර ව සිටින උතුම් අධිපතියා වන මිකායෙල් නැඟී සිටින්නේ ය. ඒ කාලය වනාහි, මනුෂ්‍ය ජාතිය ඇති වූ කාලය පටන් මේ දක්වා කිසි කලක නුවූ විරූ විපත්ති කාලයක් වන්නේ ය. එහෙත්, නුඹේ සෙනඟගෙන් පොතේ නම් ලියා ඇති සියල්ලන් ගැළවෙන්නේ ඒ කාලයේ දී ය.</verse>
				<verse number="2">පොළොවේ ධූලියට සැතපෙන්නන්ගෙන් බොහෝ දෙනෙක්, සමහරෙක් සදාකාල ජීවනයටත්, සමහරෙක් නින්දාව හා සදාකාල පිළිකුලටත් පිබිද එන්නෝ ය.</verse>
				<verse number="3">නුවණැති ජාතියේ නායකයෝ ආකාශයේ දීප්තිය මෙන් ද සෙනඟ හරි මඟ ගෙන ගිය අය තාරකාවන් මෙන් ද සදාකාලයට ම බැබළෙන්නෝ ය.</verse>
				<verse number="4">“එහෙත් දානියෙල්, නුඹ මේ වචන රහසේ තබාගෙන අන්තිම කාලය දක්වා පොත මුද්‍රා කර තබන්න. බොහෝ දෙනෙකු කිසිවක් කර කියාගත නොහැකි ව ඒ මේ අත දුවනු ඇත. දඬුවම බරපතල වන්නේ ය.”</verse>
				<verse number="5">එවිට දානියෙල් වන මම බැලූ විට, තවත් දෙදෙනෙකු සිටිනු දිටිමි. එක් කෙනෙකු ගඟෙන් මෙගොඩ ද එක් කෙනෙකු ගඟෙන් එගොඩ ද සිටිනු දිටිමි.</verse>
				<verse number="6">එවිට සිහින් හණ රෙදි හැඳගෙන ගංගාවේ වතුරට උඩින් සිටි මනුෂ්‍යයාට මම කතා කොට, “මේ අරුමපුදුම දේවල් තීන්දු වීමට කොපමණ කල් ගතවනු ඇද්දැ”යි ඇසුවෙමි.</verse>
				<verse number="7">එවිට, හණ රෙදි හැඳගෙන ගඟේ උඩහින් සිටි මිනිසා සිය දකුණත ද වමත ද අහස දෙසට ඔසවා, සදහට ම ජීවත් වන තැනැන් වහන්සේගේ නමින් දිවුරා, “අවුරුදු තුනහමාරකට ඒවා පවතිනු ඇත. ශුද්ධවන්ත සෙනඟගේ බලය නැති වී ගිය පසු මේ සියල්ල ඉෂ්ට වන්නේ ය”යි කියනු ඇසීමි.</verse>
				<verse number="8">මේ වචන මා ඇසූ නමුත්, තේරුම් නොගතිමි. එවිට මම කතා කරමින්, “මාගේ ස්වාමීනි, මේ සියල්ලේ ප්‍රතිඵල කුමක් වන්නේ දැ”යි ඇසීමි.</verse>
				<verse number="9">ඔහු මෙසේ පිළිතුරු දුන්නේ ය: “දානියෙල්, නුඹ යන දිහාවට යන්න. මන්ද, මේ වචන රහසක් ව තබා අන්තිම කාලය දක්වා මුද්‍රා කොට තබා ඇත.</verse>
				<verse number="10">බොහෝ දෙනෙක් තමන් ම ශුද්ධ පවිත්‍ර කරගෙන ධවල දීප්තියෙන් පිරිසිදු වන්නෝ ය. දුෂ්ටයෝ දුෂ්ටකමෙහි ම නියැලී සිටින්නෝ ය. ඔවුන්ගෙන් කිසිවෙක් තේරුම් නොගන්නෝ ය. එහෙත්, නුවණැති නායකයෝ පමණක් තේරුම්ගනිති.</verse>
				<verse number="11">“දෛනික පූජා නතර කරනු ලැබ, බිහිසුණු දූෂිතය පිහිටුවනු ලබන කාලය පටන් එක්දාස් දෙසියඅනූ දවසක් ගත වන්නේ ය.</verse>
				<verse number="12">එක්දාස් තුන්සිය තිස්පස් වන දවස දක්වා ජීවත් වන්නෝ වාසනාවන්තයෝ ය.</verse>
				<verse number="13">“දානියෙල්, නුඹ දැන් ගොස් අන්තිමය වන තුරු විශ්වාසවන්ත ව සිටින්න. නුඹ සැතපී, දවස්වල අන්තිමයේ දී නුඹේ කොටස භුක්ති විඳීමට නැඟිටින්නෙහි ය”යි කීවේ ය.</verse>
			</chapter>
		</book>
		<book number="28">
			<chapter number="1">
				<verse number="1">උශ්ශියා, ජෝතාම්, ආහාස් සහ හෙසකියා පිළිවෙළින් ජුදාහි රජවරුන් වූ කාලයේ දී ද ජෝවාෂ්ගේ පුත් ජෙරොබෝවම් ඉශ්රායෙල්හි රජ ව සිටි කාලයේ දී ද බෙයේරිගේ පුත් හොසියාට සමිඳාණන් වහන්සේ දුන් පණිවුඩය මෙසේ ය:</verse>
				<verse number="2">සමිඳාණන් වහන්සේ හොසියා මඟින් පළමු වරට ඉශ්රායෙල් සෙනඟට කතා කළ විට මෙසේ වදාළ සේක: “නුඹ ගොස් වෙසඟනක විවාහ කරගෙන ඇගේ වේශ්‍යාකමින් දරුපල ලබාගන්න. මන්ද, මේ රට සමිඳාණන් වහන්සේ කෙරෙන් වෙන්‍ වී යාමෙන් වෙසඟනකට සමාන වී ඇත.”</verse>
				<verse number="3">එවිට, හොසියා ගොස්, දිබ්ලයිම්ගේ දුව වූ ගොමෙර් සරණ පාවා ගත්තේ ය. ඈ ඔහුට දාව ගැබ්ගෙන දරුවෙකු ලැබුවා ය.</verse>
				<verse number="4">සමිඳාණන් වහන්සේ හොසියාට කතා කොට, “ඔහුට ‘දෙවියන් වහන්සේ වපුරන සේක’ යන අර්ථය ඇති ‘ ජෙශ්‍රෙයෙල්’ යන නම තබන්න. මන්ද, නොබෝ කලකින් ජෙශ්‍රෙයෙල්හි කරන ලද ලේ වැගිරීම්වලට ජේහුගේ වංශයට දඬුවම් කොට, මම ඉශ්රායෙල් වංශයේ රාජ්‍යය නැති කරන්නෙමි.</verse>
				<verse number="5">තවද, ඒ දවසේ දී ඉශ්රායෙලයේ යුද්ධ බලය මම ජෙශ්‍රෙයෙල් මිටියාවතේ දී බිඳදමන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="6">යළිත් ගොමෙර් ගැබ්ගෙන දුවක ලැබුවා ය. සමිඳාණන් වහන්සේ හොසියාට කතා කොට, “ඈට ‘අනුකම්පා නොලද්දී’ යන අර්ථය ඇති ‘ලෝ-රුහාමා’ යන නම තබන්න. මන්ද, මා නැවත කිසි කලෙක ඉශ්රායෙල් වංශයට කරුණාව දක්වන්නේ වත්, කමා කරන්නේ වත් නැත.</verse>
				<verse number="7">එහෙත්, මම ජුදා වංශයට අනුකම්පා කරමි. ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මම ඔවුන් ගළවන්නෙමි. එසේ කරන්නේ දුන්නෙන් වත්, කඩුවෙන්‍ වත්, යුද්ධයෙන් වත්, අශ්වයන්ගෙන් හෝ අසරුවන්ගෙන් වත් නොවේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="8">ලෝ-රුහාමා කිරි වැරෙව්වායින් පසු ගොමෙර් ගැබ්ගෙන තවත් පුතෙකු ලැබුවා ය.</verse>
				<verse number="9">“ඔහුට ‘මාගේ සෙනඟ නොවේ’ යන අර්ථය ඇති ‘ලෝ-අම්මී’ යන නම තබන්න. මන්ද, නුඹලා මාගේ සෙනඟ නොවන්නහු ය. මමත් නුඹලාගේ දෙවියන් වහන්සේ නොවෙමි”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.</verse>
				<verse number="10">“එහෙත්, ඉශ්රායෙල් ජනයා මුහුදේ වැලි මෙන් ගිණිය නොහැකි, මැනිය නොහැකි තරම් විශාල සංබ්‍යාවක් වන්නෝ ය. ‘නුඹලා මාගේ සෙනඟ නොවන්නහු ය’යි කියනු ලැබූ ස්ථානයේ දී ම, ‘නුඹලා ජීවමාන දෙවියන් වහන්සේගේ දරුවෝ ය’යි කියනු ලබන දවස පැමිණෙන්නේ ය.</verse>
				<verse number="11">ජුදා ද ඉශ්රායෙල් සෙනඟ ද එක්රැස් වී යළිත් එක ම නායකයෙකු පත් කර ගන්නෝ ය. ඔව්හු නැවත වර්ධනය වී සඵලවත් වන්නෝ ය.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">එසේ ජෙශ්‍රෙයෙල් හට සෞභාග්‍යවත් යුගයක් උදා වන්නේ ය. එබැවින් නුඹලාගේ සහෝදරයන්ට ‘අම්මී’ කියා ද සහෝදරියන්ට ‘රුහාමා’ කියා ද කියන්න.”</verse>
				<verse number="2">“දරුවෙනි, නුඹලාගේ මවුට කන්නලව් කරන්න; කන්නලව් කරන්න. ඈ මාගේ බිරිඳ නොවන්නී ද? මම ඇගේ පුරුෂයා නොවෙම් ද? ඇගේ ගණිකා බැල්ම ද තුරුල්ලට ගත් පෙම්වතුන් ද පහකරන්නැ යි ඈට කියන්න.</verse>
				<verse number="3">එසේ නොකළොත් මම ඇය නිරුවත් කරමි; උපන් දා මෙන් නග්න කරමි. නිසරු මරුකතරක් මෙන් ද වියළුණු පාළුකරයක් මෙන් ද වෙන්නට සලස්වන්නෙමි. ඇය පිපාසයෙන් නසන්නෙමි.</verse>
				<verse number="4">ඇගේ දරුවන්ට ද මම අනුකම්පා නොකරමි. ඔව්හු වේශ්‍යාකමේ දරුපල වෙති.</verse>
				<verse number="5">ඔවුන්ගේ මව වෙසඟනකි; ඔවුන් වැදූ තැනැත්තී විලිබිය නැත්තියකි. ඈ මෙසේ කියයි: ‘මාගේ පෙම්වතුන් පසුපස මම යමි; ඔව්හු මට කෑම හා බීම ද ලොම් හා හණ ද මාගේ තෙල් හා පානය ද දෙති.’</verse>
				<verse number="6">එබැවින් ඇගේ මඟ කටුවලින් අසුරන්නෙමි; පාර නොපෙනෙන පරිදි පවුරක් ගොඩනඟන්නෙමි.</verse>
				<verse number="7">ඈ සිය පෙම්වතුන් පසුපස ගියත්, ඔවුන් වෙත පැමිණෙන්නේ නැත; ඔවුන් සොය සොයා ගියත්, ඔවුන් හමු වන්නේ නැත. එවිට ඈ මෙසේ කියනු ඇත: ‘මම මාගේ පළමු සැමියා වෙත හැරී යමි. මන්ද, අදට වඩා එදා යහපත් ව තිබිණි.’</verse>
				<verse number="8">ධාන්‍ය ද මිදියුස ද තෙල් ද දුන්නේත්, බාල්ගේ දේව රූප නෙළීමට ගත් රන් රිදී ඈට නොමසුරු ව දුන්නේත් මා බව ඈ දැන සිටියේ නැත.</verse>
				<verse number="9">එබැවින් අස්වැන්න කාලයේ දී මා ඈට දුන් ධාන්‍යත්, පල නෙළන කාලයේ දී ඈට දුන් මිදියුසත් මම ආපසු ගන්නෙමි. ඇගේ නිරුවත වසාගැනීමට මා දුන් ලොම් හා පිළි ඇගෙන් උදුරා ගන්නෙමි.</verse>
				<verse number="10">දැන් ඇගේ පෙම්වතුන් බලා සිටිය දී ඇගේ සලෙලුකම මම හෙළි කරන්නෙමි. එවිට මා අතින් ඈ මුදාගැනීමට කිසිවෙකුට නොහැකි වේ.</verse>
				<verse number="11">ඇගේ හැම විනෝදයක් ද මංගල්‍යයන් හා අමාවක් උත්සවයන් ද සබත් දිනයන් හා නියමිත රැස්වීම් ද මම තහනම් කරන්නෙමි.</verse>
				<verse number="12">ඈ කී පරිදි ඇගේ පෙම්වතුන් කුලියක් වශයෙන් ඈට දුන් මිදි වැල් හා අත්තික්කා ගස් විනාශ කර වන ලැහැබක් කර දමමි. වන මෘගයෝ ඒවා කාදමති.</verse>
				<verse number="13">ඈ කනකර අබරණ පළඳිමින්, පෙම්වතුන් පසුපස දුවමින්, බාල් දේවතාවන්ට සුවඳ දුම් පුදමින් මා අමතක කළ බැවින් මම ඈට දඬුවම් කරමි. මෙසේ පවසන්නේ සමිඳාණන් ය.”</verse>
				<verse number="14">“එහෙත්, දැන් මම ඇගේ සිත දිනාගෙන, මරුකතරට ඈ කැඳවාගෙන කරුණාවෙන්‍ ඈට කතා කරන්නෙමි.</verse>
				<verse number="15">
					ඈ සතු ව තිබූ මිදි වතු මම ඈට ආපසු දෙමි.
					ආකොර් නම් අවාසනා නිම්නය වාසනා දොරටුවක් බවට පමුණුවන්නෙමි. එහි දී ඈ යොවුන් වියේ දී මෙන්, මිසර දෙසින් ආ කල මෙන් මට පිළිතුරු දෙනු ඇත.”
				</verse>
				<verse number="16">සමිඳාණන් වහන්සේ මෙසේ පවසන සේක: “එවිට ඈ තවත් මට ‘මාගේ බාල් දෙවියා’ කියා නොකියා, ‘මාගේ සැමියා’ කියා මා අමතන්නී ය.</verse>
				<verse number="17">මම බාල් දෙවිවරුන්ගේ නම් ඇගේ මුවින් ඉවත් කරන්නෙමි. ඒ නාම තවත් පවසනු නොලබන්නේ ය.</verse>
				<verse number="18">එවිට මම ඉශ්රායෙල් සෙනඟ වෙනුවෙන්‍ වන සතුන් ද අහසේ පක්ෂීන් ද බිම බඩගා යන සතුන් ද සමඟ ගිවිසුමක් කරන්නෙමි. මම දුන්න ද කඩුව ද යුද අවි ද දේශයෙන් පහකර දමා, මාගේ සෙනඟ සුව සේ විසීමට සලස්වන්නෙමි.</verse>
				<verse number="19">එම්බා ඉශ්රායෙල් දේශය, මම නුඹ සදහට ම සරණ පාවා ගතිමි. දැහැමින් හා යුක්තියෙන්, ස්ථිර ප්‍රේමයෙන් හා අනුකම්පාවෙන්‍ මම නුඹ සරණ පාවා ගතිමි.</verse>
				<verse number="20">විශ්වාසයෙන් නුඹ සරණ පාවා ගතිමි. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹ හැඳිනගන්නෙහි ය.</verse>
				<verse number="21">ඒ කාලයේ දී මම මාගේ සෙනඟගේ යැදුම්වලට පිළිතුරු දෙන්නෙමි. මම අහසින් පොළොවට වැසි වස්වන්නෙමි.</verse>
				<verse number="22">ධාන්‍ය ද මිදි ද ඔලීව ද පොළොවේ හටගන්නේ ය. එවිට ඉශ්රායෙල් සරුසාර වන්නේ ය.</verse>
				<verse number="23">මාගේ සෙනඟ දේශයේ ස්ථිර කොට පිහිටුවා වර්ධනය කරන්නෙමි. ‘ලෝ-රුහාමා’යි කී සෙනඟට මම අනුකම්පාව දක්වන්නෙමි. ‘ලෝ-අම්මී’යි කී ජනයාට ‘නුඹලා මාගේ සෙනඟ ය’ කියා කියන්නෙමි. ඔව්හු පිළිතුරු දෙමින්, ‘ඔබ අපගේ දෙවියන් වහන්සේ ය’යි කියන්නෝ ය.”</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">සමිඳාණන් වහන්සේ යළිත් මට කතා කොට මෙසේ වදාළ සේක: “අන් පෙම්වතෙකු ඇති, කාමමිථ්‍යාචාරය කරන ස්ත්‍රියක වෙත ගොස්, ඈට පෙම් කරන්න. අන් දෙවිවරුන් වෙත හැරී යන, වියළි මිදි පලවලින් සෑදූ පිදේනි දෙවිවරුන් වෙත ගෙනයන්න කැමැති ඉශ්රායෙල් සෙනඟට මා තවමත් ප්‍රේම කරන්නාක් මෙන් ම ඔබත් ඈට පෙම් කරන්න.”</verse>
				<verse number="2">මම ද, රිදී මිල පසළොසක් ද යව කිලෝග්‍රෑම් එකසිය පණහක් ද දී ඈ ලබාගෙන,</verse>
				<verse number="3">ඈට මෙසේ කීවෙමි: “ඔබ කාමයෙහි වරදවා නොහැසිරෙමින්, අන් පුරුෂයකු ඇසුරු නොකරමින් ඉන්න. මම ද ඔබ කෙරෙහි එලෙස සිටිමි.”</verse>
				<verse number="4">මෙලෙස ඉශ්රායෙල් සෙනඟ බොහෝ දවස් රජ කෙනෙකු වත්, අධිපතියෙකු වත්, පුද පූජා වත්, රූපස්ථම්භ වත්, පිළිම වත්, ඉටුදෙව් රූප වත්, නැති ව සිටිනු ඇත.</verse>
				<verse number="5">ඉන්පසු ඉශ්රායෙල් සෙනඟ තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ද දාවිත් නම් තමන්ගේ රජු ද සොයා එන්නෝ ය. මතු කාලයේ දී ඔව්හු ගරුබිය ඇති ව සමිඳාණන් වහන්සේ වෙත පැමිණ, උන් වහන්සේගේ යහපත් දීමනා ලබන්නෝ ය.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">ඉශ්රායෙල් ජනයෙනි, සමිඳාණන් වහන්සේගේ පණිවුඩයට සවන් දෙන්න. මේ දේශයේ වැසියන්ට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ චෝදනාවක් ඇත. “විශ්වාසකම වත්, කරුණාව වත්, දෙවියන් වහන්සේ පිළිබඳ දැනුමක් වත් දේශයේ නැත.</verse>
				<verse number="2">බොරු දිවිරීම ද බොරු කීම ද මිනීමැරීම ද සොරකම ද කාමමිථ්‍යාචාරය ද මිස වෙන කිසිවක් නැත. ඇත්තේ ලේ වැගිරීම් පිට ලේ වැගිරීම් ය.</verse>
				<verse number="3">එබැවින් දේශය වියළී යන්නේ ය. එහි වසන වනසතුන් හා ආකාශයේ පක්ෂීන් ඇතුළු සියල්ලෝ ම මලානික වන්නෝ ය. මුහුදේ මත්ස්‍යයෝ පවා විනාශ වී යන්නෝ ය.</verse>
				<verse number="4">“සෙනඟට විරුද්ධ ව කිසිවෙක් චෝදනාවක් වත්, පැමිණිල්ලක් වත් නොකරත් වා! මාගේ චෝදනාව පූජකයන්ට විරුද්ධ ව ය.</verse>
				<verse number="5">නුඹලා රෑ දාවල් දෙක්හි වැරදි පිට වැරදි කරන්නහු ය. දිවැසිවරු ද නුඹලා සමඟ එසේ ම කරති. නුඹලාගේ මාතෘ භූමියේ විනාශය නුඹලා ම ය.</verse>
				<verse number="6">මා ගැන දැනුමක් නැති බැවින් මාගේ සෙනඟ විනාශ වී යති. මා ගැන දැනුම ද දේවාඥා ද ප්‍රතික්ෂේප කර තිබෙන බැවින් මට පූජකයන් මෙන් සේවය කිරීමෙහි ලා නුඹලා ද නුඹලාගේ දරුවන් ද මම ප්‍රතික්ෂේප කරමි.</verse>
				<verse number="7">“පූජකයන් වැඩි වෙන්න වැඩි වෙන්න ඔව්හු වැඩි වැඩියෙන් මට විරුද්ධ ව පව් කළහ. එබැවින් මම ඔවුන්ගේ කීර්තිය අපකීර්තියට හරවන්නෙමි.</verse>
				<verse number="8">ඔව්හු මාගේ සෙනඟගේ පාපයෙන් පෝෂ්‍ය වෙති. ඔවුන් වඩ වඩා පව් කරනවාටත් ඔව්හු ආශා වෙති.</verse>
				<verse number="9">එබැවින් සෙනඟට වන දේ පූජකයන්ටත් සිදු වේ. මම ඔවුන්ගේ හැසිරීමට යුතු දඬුවම ද ක්‍රියාවලට නිසි විපාකය ද දෙන්නෙමි.</verse>
				<verse number="10">කොපමණ කෑවත් ඔව්හු තෘප්තියට නොපැමිණෙති. වේශ්‍යාකම් කළත් ඔව්හු දරුපල නොලබති. එසේ වන්නේ ඔවුන් අන් දෙවිවරුන් අනුව යන පිණිස මා කෙරෙන් හැරී ගොස් ඇති බැවිනි.</verse>
				<verse number="11">“කාමසේවනය, සුරා පානය සහ මිදියුස සිහිය විකල් කරයි.</verse>
				<verse number="12">මාගේ සෙනඟ ලී කැබැල්ලකින් ගුරුකම් සොයති; සැරයටියක් පිළිතුරු දෙයි. ඔව්හු දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කොට, වේශ්‍යාකමට වැටුණ ස්ත්‍රියක මෙන් අන් දෙවිවරුන් වැළඳගෙන සිටිති.</verse>
				<verse number="13">ඔව්හු කඳු මුදුන්වල යාග කරති; හෙල් උඩ ඇති ආලෝන, ලිබීනා, ඒලා යන ගස්වල සෙවණ හොඳ නිසා ඒවා යට සුවඳ දුම් ඔප්පු කරති. එබැවින් නුඹලාගේ දූවරු වේශ්‍යාකම් කරති. භාර්යාවෝ කාමමිථ්‍යාචාරයේ යෙදෙති.</verse>
				<verse number="14">නුඹලාගේ දූවරුන්ගේ වේශ්‍යාකම්වලටත්, ලේලියන්ගේ කාමමිථ්‍යාචාරකම්වලටත් දඬුවම් නොකරමි. මන්ද, පුරුෂයන් ද දේවාල වෙසඟනක් සමඟ පුද පූජා කරන බැවිනි. මෙසේ සිහිනුවණ නැති සෙනඟ විනාශ වන්නෝ ය.</verse>
				<verse number="15">“එම්බා ඉශ්රායෙල්වරුනි, නුඹලා වේශ්‍යාකම් කරන නමුත්, ජුදා එම වරද නොකෙරේ වා! ගිල්ගාලයට වත්, බෙත්-ආවෙන්‍ට වත් ගොස් නමස්කාර නොකරන්න; ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් එහි දී නොදිවුරන්න.</verse>
				<verse number="16">ඉශ්රායෙල් සෙනඟ කුළු මීහරකෙකු මෙන් මුරණ්ඩු ය. ඒ නිසා තණ පිට්ටනියක බැටළු පොව්වකු මෙන් සමිඳාණන් වහන්සේ ඔවුන් පෝෂණය කරන්නේ කෙසේ ද?</verse>
				<verse number="17">එප්‍රායිම් ජනයා දේව රූපවලට වසඟ වී සිටිති. ඔවුන් එසේ සිටියාවේ.</verse>
				<verse number="18">ඔව්හු සුරාසොඩුන් සමඟ විකාර කරති; කාමමිථ්‍යාචාරයෙහි ම යෙදී සිටිති; ආත්ම ගෞරවයට වඩා නින්දිතකමට ඇළුම් වෙති.</verse>
				<verse number="19">මාරුතය එහි පියාපත්වලින් ඔවුන් ගසාගෙන යනු ඇත. ඔවුන්ගේ පූජාවලින් ඔව්හු ලජ්ජාවට පත්වන්නෝ ය.”</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">“පූජකයෙනි, මෙයට සවන් දෙන්න. ඉශ්රායෙල් වැසියෙනි, කන් දෙන්න. රජ පවුලට අයිති ඔබ හැම දෙනා ද සවන් දෙන්න. ඔබ පිට විනිශ්චය පැමිණෙනු ඇත; මන්ද, ඔබ මිශ්පාහි මලපතක් ද තාබොර් මත අතුරන ලද දැලක් ද වී ඇත;</verse>
				<verse number="2">ෂිට්ටිම් මිටියාවතේ ගැඹුරු පාතාලයක් වී ඇත. මම ඔබ සියල්ලන්ට ම දඬුවම් කරමි.</verse>
				<verse number="3">එප්‍රායිම්ගේ හැටි මම හොඳින් දනිමි. මාගෙන් සැඟවෙන්නට ඉශ්රායෙල්වරුන්ට බැරි ය. එම්බා එප්‍රායිම්, ඔබ වේශ්‍යාකම් කර ඇත. ඉශ්රායෙල් දූෂණය වී ඇත.</verse>
				<verse number="4">“ඉශ්රායෙල් සෙනඟගේ දූෂණ ක්‍රියා නිසා ඔවුන්ගේ දෙවියන් වහන්සේ වෙත හැරී එන්න ඔව්හු අපොහොසත් ය. වේශ්‍යාකමට වැටුණු ස්ත්‍රියක මෙන් ඔව්හු ඔවුන්ගේ ස්වාමීන් නාඳුනති.</verse>
				<verse number="5">ඉශ්රායෙල් සෙනඟගේ අහංකාරය ඔවුන්ට විරුද්ධ ව මොරහඬ දෙයි. එප්‍රායිම් සෙනඟ තමන්ගේ පාප නිසා පැකිළ වැටෙති; ජුදා සෙනඟ ද ඔවුන් සමඟ ම වැටෙති;</verse>
				<verse number="6">පූජා කරන පිණිස ඔවුන් බැටළුවන් ද ගවයන් ද රැගෙන සමිඳාණන් වහන්සේ සොයා යන නමුත්, උන් වහන්සේ ඔවුන්ට සම්බ වන්නේ නැත. මන්ද, උන් වහන්සේ ඔවුන් අත්හැර ගොස් ඇති බැවිනි.</verse>
				<verse number="7">ඔව්හු සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් කළහ. අවජාතක දරුවෝ ඔවුන්ට ඉපදී සිටිති. එබැවින් විනාශකයා ඔවුන්ගේ වතුපිටි සමඟ ඔවුන් විනාශ කරන්නේ ය.</verse>
				<verse number="8">“ගිබියාහි හොරණෑවක් ද රාමාහි නළාවක් ද පිඹින්න. බෙත්-ආවෙන් ‍හි යුද්ධ ඝෝෂා නඟන්න. අහෝ! බෙන්ජමින් සෙනඟෙනි, සතුරා ඔබ පස්සේ ය.</verse>
				<verse number="9">දඬුවම් කිරීමේ දවසේ දී එප්‍රායිම් නැති නාස්ති වන්නේ ය. මා ඉශ්රායෙල් ගෝත්‍ර අතරේ නියත විනාශය ප්‍රකාශ කර ඇත.</verse>
				<verse number="10">“ජුදාහි අධිපතීහු මායිම් කණු වෙනස් කරන්නන් වැනි ය. ඔවුන් කෙරෙහි මාගේ උදහස ජලගැල්මක් මෙන් වගුරුවන්නෙමි.</verse>
				<verse number="11">එප්‍රායිම් නිෂ්ඵල දේ ලුහුබැඳ ගිය බැවින් ඒ දේශය විනිශ්චයයට යට වී පොඩි වී ඇත.</verse>
				<verse number="12">එබැවින් මම එප්‍රායිම් සෙනඟට කාවෙකු මෙන් ද ජුදා සෙනඟට පිළිකාවක් මෙන් ද වන්නෙමි.</verse>
				<verse number="13">“එප්‍රායිම් තමාගේ රෝගාතුරකම ද ජුදාව තමාගේ තුවාළ ද දුටු කල එප්‍රායිම් අසිරියාවට ගිය නමුත්, ජුදා විසින් මහ රජතුමාට පණිවුඩයක් යවනු ලැබූ නමුත්, රෝගය වත් තුවාළය වත් සුව කිරීමට ඒ රජුට බැරි විය.</verse>
				<verse number="14">මම එප්‍රායිම්ට සිංහයෙකු මෙන් ද ජුදාට සිංහ නාම්බෙකු මෙන් ද වන්නෙමි. මම, මම ම ඔවුන් පිටට කඩාපැන ඔවුන් ඉරාදමා ඇදගෙන යන්නෙමි. කිසිවෙකුට ඔවුන් ගැළවිය නොහැකි ය.</verse>
				<verse number="15">“මාගේ සෙනඟ තමන්ගේ වරද පිළිගෙන මා සොයා එන තුරු මම ඔවුන් අත්හැර මාගේ වාසභවනයට යන්නෙමි. සමහර විට ඔවුන් දුක් විඳින විට ඕනෑකමින් මා සොයා එනු ඇත.”</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">“එන්න; අපි සමිඳාණන් වහන්සේ වෙත හැරී යමු; අප ඉරාදැම්මේ උන් වහන්සේ ය; අප සුව කරන්නේත් උන් වහන්සේ ය; අපට පහර දුන්නේත් උන් වහන්සේ ය; අපේ තුවාළ බඳින්නේත් උන් වහන්සේ ය.</verse>
				<verse number="2">දෙදිනකට පසු උන් වහන්සේ අප ප්‍රාණවත් කරන සේක; තුන් වන දා අප නැඟුටුවන සේක. එවිට අපි උන් වහන්සේ ඉදිරියෙහි ජීවත් වන්නෙමු.</verse>
				<verse number="3">අපි සමිඳාණන් වහන්සේ දැන හැඳින ගැනීමට වීර්ය කරමු. හිරු උදා වෙන සේ නිසැක ව ම උන් වහන්සේ අප වෙත පැමිණෙන සේක. වර්ෂාව මෙන්, පොළොව තෙමන මෝසම් වැසි මෙන් නිසැක ව ම උන් වහන්සේ අප වෙත පැමිණෙන සේකැ”යි සෙනඟ කියති.</verse>
				<verse number="4">“අහෝ! එප්‍රායිම්වරුනි, මම නුඹලාට කුමක් කරම් ද? අහෝ! ජුදාවරුනි, මම නුඹලාට කුමක් කරම් ද? නුඹලාගේ ප්‍රේමය අලුයම මීදුම වැනි ය; වහා නැති වී යන පිනි වැනි ය.</verse>
				<verse number="5">එබැවින් මම විනිශ්චයය ද විනාශයේ පණිවුඩය ද රැගත් මාගේ දිවැසිවරයන් ඔබට විරුද්ධ ව එව්වෙමි. මාගේ සෙනඟගෙන් මා බලාපොරොත්තු වන දේ සක්සුදක් සේ පැහැදිලි ය.</verse>
				<verse number="6">මම පූජාවලට වඩා කරුණාවට කැමැත්තෙමි; දවන යාග පූජාවලට වඩා දෙවියන් වහන්සේ පිළිබඳ අවබෝධයට කැමැත්තෙමි.”</verse>
				<verse number="7">“ඉශ්රායෙල් සෙනඟ සමඟ අද්මා නම් ස්ථානයේ දී මා කළ ගිවිසුම ඔව්හු කඩ කළෝ ය. ඔව්හු මට විරුද්ධ ව ද්‍රෝහිකම් කළෝ ය.</verse>
				<verse number="8">ගිලියද් වනාහි නපුරු මිනිසුන්ගෙන් ද මිනී මරුවන්ගෙන් ද ගහණ වූ නගරයකි.</verse>
				<verse number="9">පූජක පිරිස වූකලී, මිනිසෙකුට පහර දීමට සැඟවී සිටින සොර මුළක් හා සමාන ය. ෂෙකෙම්ට යන මාර්ගයෙහි ම වුව ද ඔව්හු මිනී මරති. ඔවුන්ගේ ක්‍රියා ඉතා සාහසික ය.</verse>
				<verse number="10">භයංකර දෙයක් ඉශ්රායෙල් සෙනඟ අතරේ මට දකින්නට ලැබී ඇත. එප්‍රායිම් සෙනඟ වේශ්‍යාකම් කර ඇත. ඉශ්රායෙල් දූෂ්‍ය වී ඇත.</verse>
				<verse number="11">“එම්බා ජුදා වැසියෙනි! නුඹලාට දඬුවම් දීමේ කාලයත් මා නියම කර ඇත.</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">ඉශ්රායෙල් සෙනඟට සෞභාග්‍යයත්, සුවයත් ආපසු දෙන්න මා බලන හැම විට ම මට පෙනෙන්නේ එප්‍රායිම්ගේ අයුතුකම් හා සමාරියේ දුෂ්ටකම් ය. ඔව්හු වංචාකම් කරති; සොරුන් මෙන් ගෙවල් බිඳ සොරකම් කරති; එයින් පිට මංකොල්ල කති.</verse>
				<verse number="2">ඔවුන් කරන සියලු නපුරු දේ මා අමතක නොකරන බව ඔවුන්ගේ සිහියට නොනැඟේ. පාපයෙන් වට වී සිටින ඔවුන්ට මාගේ ඇස් හමුවෙන්‍ සැඟවෙන්න බැරි ය.”</verse>
				<verse number="3">“සෙනඟ තමන්ගේ දුෂ්ටකමෙන් රජු ද උපායවලින් අධිපතීන් ද රවටති.</verse>
				<verse number="4">ඔව්හු සියල්ලෝ ම කාමමිථ්‍යාචාරය කරන්නෝ ය. ඔව්හු වනාහි පාන් පුළුස්සන්නා රත් කළ, ඇනූ පිටි පිපෙන තුරු ගිනියම් වෙමින් පවතින ගිනි උදුනට සමාන ය.</verse>
				<verse number="5">රජුගේ උත්සව දිනයේ දී සිය අධිපතීන් මත්පැන් බී වෙරි වූ විට, රජ ද ඒ කුහකයන් සමඟ එක් වෙයි.</verse>
				<verse number="6">ඔවුන්ගේ සිත් කුමන්ත්‍රණ චේතනාවෙන්‍ උදුනක් මෙන් දැවෙන්නේ ය. ඔවුන්ගේ ක්‍රෝධය රෑ මුළුල්ලේ දුම් නඟිමින් ඇවිළී උදෑසන පුපුර පුපුරා ගිනි ගනියි.</verse>
				<verse number="7">“ඔව්හු ගිනි උදුනක් මෙන් කෝපයෙන් දැවී තමන්ගේ අධිපතීන් මරාදැමූ හ. රජෙකු පාසා රජෙකු බැගින් මරනු ලැබූ නමුත්, ඔවුන්ගෙන් එක් කෙනෙක් වත් අයැදුම් නොකෙළේ ය.”</verse>
				<verse number="8">“එප්‍රායිම් සෙනඟ වනාහි අඩක් පිළිස්සූ රොටියක් හා සමාන ය. ඔව්හු අන්‍ය ජාතීන් සමඟ මිශ්‍ර වී සිටිති.</verse>
				<verse number="9">විදේශිකයෝ ඔවුන්ගේ ශක්තිය කාදමති. එහෙත්, ඔව්හු ඒ බව නොදනිති. ඔවුන්ගේ හිසකෙස් අතරින්පතර පැසී ඇති බවත් ඔව්හු නොදනිති.</verse>
				<verse number="10">ඉශ්රායෙල්වරුන්ගේ අහංකාරය ඔවුන්ට විරුද්ධ ව මොරහඬ නඟයි. කරුණු මෙසේ වුව ද ඒ සෙනඟ තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත හැරී උන් වහන්සේ නොසෙව්වෝ ය.</verse>
				<verse number="11">එප්‍රායිම් නුනුවණ, බොළඳ පරවියෙකු හා සමාන ය. එහි වැසියෝ මිසරයෙන් පිහිට ඉල්ලති. ඉන්පසු අසිරියාවට දුවති.</verse>
				<verse number="12">ඔවුන් එසේ යන කල, ඔවුන් පිට මම දැලක් හෙළන්නෙමි; කුරුල්ලන් මෙන් ඔවුන් පහතට ඇද හෙළන්නෙමි. ඔවුන් කර ඇති නපුරු ක්‍රියාවලට මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි.</verse>
				<verse number="13">“ඔවුන් මාගෙන් පලා ගිය නිසා, ඔවුන්ට වන විපතක මහත! ඔවුන් මට විරුද්ධ ව කැරලිගැසූ නිසා ඔවුන්ට වන විනාශයක මහත! මම ඔවුන් මුදාගන්න කැමැති වීමි; එහෙත්, ඔව්හු මට විරුද්ධ ව බොරු කී හ.</verse>
				<verse number="14">ඔවුන් අවංක සිතින් මට යාච්ඤා කර නැත. ඒ වෙනුවට ඔව්හු බිය වැදී කෑමොරගසති. ධාන්‍ය ද මිදියුස ද ඉල්ලන විට, ඔව්හු ඇනකොටාගනිමින් මට විරුද්ධ ව කැරලිගසති.</verse>
				<verse number="15">ඔවුන්ට සවිශක්තිය දෙමින් ඔවුන් ඇතිදැඩි කෙළේ මම ය. එහෙත්, ඔව්හු මට විරුද්ධ ව කුමන්ත්‍රණය කරති.</verse>
				<verse number="16">ඔව්හු මා වෙතින් හැරී බාල් දෙවිවරුන් කරා යති. ඔව්හු වනාහි හරි නැති දුන්නක් වැනි ය. ඔවුන්ගේ අධිපතීහු අහංකාර ලෙස කතා කරන නිසා කඩුවෙන්‍ විනාශ වෙති. මිසර දේශ වැසියන් ඔවුන්ට සිනාසෙනු ඇත.”</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">“හොරණෑව පිඹින්න; මන්ද, රාජාලියෙකු මෙන් සතුරෝ සමිඳාණන් වහන්සේගේ ගෘහය පිට පැමිණෙන්නෝ ය. මාගේ සෙනඟ මාගේ ගිවිසුම කඩ කර, මාගේ ආඥාවලට විරුද්ධ ව කැරලිගැසූ හ.</verse>
				<verse number="2">‘ඔබ අපේ දෙවියන් වහන්සේ ය, අපි ඔබ හඳුනමු’ කියා ඉශ්රායෙල් මොරගසති.</verse>
				<verse number="3">එහෙත්, ඔවුන් යහපත එපා කර ඇත. එබැවින් සතුරෝ ඔවුන් ලුහුබැඳ යති.</verse>
				<verse number="4">“ඔව්හු මාගේ කැමැත්ත නැති ව රජවරුන් තෝරාගත්හ; මාගේ අනුමැතිය නැති ව අධිපතීන් පත් කළහ; ඔවුන්ගේ විනාශයට හේතු වන දේව පිළිම ඔවුන්ගේ රන් රිදීයෙන් තනාගත්හ.</verse>
				<verse number="5">සමාරියේ වැසියෙනි, නුඹලා නමස්කාර කළ රන් වස්සා මම ප්‍රතික්ෂේප කෙළෙමි. ඔවුන්ට විරුද්ධ ව මාගේ උදහස ඇවිළී ඇත. ඔවුන් නිදොස් මඟට පැමිණෙන්න කොපමණ කල් ගත වේ ද?</verse>
				<verse number="6">ඒ රන් වස්සා සෑදුවේ ඉශ්රායෙල් කම්කරුවෙක් ය. එය දෙවියෝ නොවෙති. සමාරියයන් නමස්කාර කරන ඒ වහු පිළිමය මම කැබලි කර දමමි.</verse>
				<verse number="7">ඔව්හු සුළඟ වපුරා, සුළි සුළඟ කපාගනිති; ගොයම් කරල් නැත, කරල් තිබුණත් විදේශීන් ඒවා ගිලදමනු ඇත.</verse>
				<verse number="8">ඉශ්රායෙලය ගිල ගනු ලැබී ය; දැනට ම අන්‍ය ජාතීහු ඔවුන් පලක් නැති බඳුනක් සේ සලකති.</verse>
				<verse number="9">රැළෙන් වෙන්‍ වූ වල් කොටළුවෙකු සේ ඔවුන් අසිරියාවට ගොස් ඇත. එප්‍රායිම් ජාතිය පෙම්වතුන් කුලියට ගන්න පිණිස අන්‍ය ජාතීන්ට මුදල් ගෙවා ඇත.</verse>
				<verse number="10">ඔවුන් ජාතීන් අතරෙන් ජනයා කුලියට ගන්න නමුත්, දැන් මම ඔවුන් එක්රැස් කොට ඔවුන්ට දඬුවම් කරමි. අසිරියාවේ රජු නොපමා ව ඔවුන්ට පීඩා කරන විට ඔව්හු වේදනාවෙන්‍ මිරිකී යන්නෝ ය.</verse>
				<verse number="11">“එප්‍රායිම් සෙනඟ පව් කිරීම සඳහා වැඩි වැඩියෙන් පූජාසන තනාගෙන ඇත. වැඩි වැඩියෙන් පව් කිරීමට ඒවා හේතු වී තිබේ.</verse>
				<verse number="12">සෙනඟ උදෙසා මාගේ ආඥා දසදහස් ගණන් මා ලියා දුන්නත් ඔව්හු ඒවා බාහිර දේවල් සේ ප්‍රතික්ෂේප කළහ.</verse>
				<verse number="13">මාංස පූජා කිරීමටත්, පූජා කරන මස් කෑමටත් ඔව්හු කැමැති ය. එහෙත්, සමිඳාණෝ එය ප්‍රිය නොකරන සේක. දැන් උන් වහන්සේ ඔවුන්ගේ අයුතුකම් සිහි කොට, ඔවුන්ගේ පාපවලට නිසි දඬුවම් දෙන සේක. ඔවුන් ආපසු මිසර දේශයට යනු ඇත.</verse>
				<verse number="14">“ඉශ්රායෙල් දේශයේ සෙනඟ ඔවුන්ගේ මැවුම්කාරයාණන් අමතක කර, තමන්ට මාලිගා තනාගත්හ. ජුදා දේශයේ සෙනඟ සුරක්ෂිත වන පිණිස බලකොටු නගර වැඩි වැඩියෙන් තනාගත්හ. එවිට සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ ඒ නගර පිට ගින්නක් එවන සේක, එයින් එහි මාලිගා දැවී වැනසෙනු ඇත.”</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">“ඉශ්රායෙල් ජනයෙනි, විජාතීන් මෙන් ප්‍රීති උත්සව නොපවත්වන්න. මන්ද, නුඹලා දෙවියන් වහන්සේට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගෙන ඇත. නුඹලා සියලු කමත්වල දී වේශ්‍යාවන්ගේ පණයම් ලබන්නට ලොල් වූවහු ය.</verse>
				<verse number="2">එබැවින් කමත වත් මිදි යන්ත්‍රය වත් නුඹලාට ආහාර සපයන්නේ නැත; අලුත් මිදියුස කිසිත් ලැබෙන්නේ නැත.</verse>
				<verse number="3">එප්‍රායිම් සෙනඟට සමිඳාණන් වහන්සේගේ දේශයෙහි වාසය කිරීමට නොහැකි ව ඔවුන්ට ආපසු මිසර දේශයට යන්න සිදු වන්නේ ය; අසිරියාවේ දී අපිරිසිදු කෑම කන්න ඔවුන්ට සිදු වන්නේ ය.</verse>
				<verse number="4">සමිඳාණන් වහන්සේට මිදියුස පුදන්නට වත්, උන් වහන්සේට පුද පූජා කරන්නට වත් ඔවුන්ට නොහැකි වන්නේ ය. ඔවුන්ගේ කෑම මළ ගෙවල කෑම මෙන් ය. ඒවා කන සියලු දෙන අපවිත්‍ර වන්නෝ ය. ඔවුන්ගේ කෑම ඔවුන්ගේ ම කුසගිනි නිවීමට මිස, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පිදීමට සුදුසු නොවේ.</verse>
				<verse number="5">එසේ නම්, සමිඳාණන් වහන්සේගේ නියමිත උත්සව හා පූජා මංගල්‍යයන් පැවැත්වීමේ කාලය පැමිණි විට ඔව්හු කුමක් කරන්නෝ ද?</verse>
				<verse number="6">ඔවුන් විනාශයෙන් පලා ගොස් ඇත. මිසර වැසියෝ ඔවුන් එක්රැස් කර, මෙම්පිස්හි භූමදාන කරන්නෝ ය. ඔවුන්ගේ රිදී වස්තුව කහඹිලියා පැළවලින් ද ගේ දොරවල් ගොකටුවලින් ද වැසී යන්නේ ය.</verse>
				<verse number="7">“දඬුවම් දීමේ කාලය පැමිණ තිබේ; සෙනඟ දුර්විපාක ලැබීමේ කාලය පැමිණ තිබේ. මේ දිවැසිවරයා මෝඩයෙක් ය; දේව ආත්මානුභාවය ඇති මේ මිනිසා පිස්සෙක් යයි ඉශ්රායෙල් දැනගන්නවා ඇත. නුඹලා මට එසේ ද්වේෂ කරන්නේ නුඹලාගේ අධික පාපය හා දැඩි කෝපය නිසා ය.</verse>
				<verse number="8">දිවැසිවරයෙකු වශයෙන් ඔහු මා එවා ඇත්තේ සමිඳාණන් වහන්සේගේ සෙනඟ වන එප්‍රායිම්ට තදින් අවවාද කිරීමට ය. එහෙත්, පක්ෂි වැද්දා යන යන තැන පක්ෂියෙකු මලපතකට අසු කරගන්න උත්සාහ කරන්නා සේ නුඹලා මා අසු කරන්නහු ය; දෙවියන් වහන්සේගේ මාලිගාවේ ම සතුරෝ වී සිටිති.</verse>
				<verse number="9">ගිබියාහි දී මෙන් ඔව්හු අතිශයෙන් දූෂණය වී සිටිති. දෙවියන් වහන්සේ ඔවුන්ගේ පව් සිහි කොට ඔවුන්ගේ පාපවලට දඬුවම් දෙන සේක.”</verse>
				<verse number="10">“ඉශ්රායෙල් සෙනඟ මට හමු වූයේ කාන්තාරයේ මුද්‍රික පල මෙන් ය. මා නුඹලාගේ මුතුන්මිත්තන් මුලින් ම දුටු විට, පළමු සෘතුවේ අත්තික්කාවල නාඹුල් පල දැකීමක් මෙන් විය. එහෙත්, බාල්-පෙයොර් නම් ස්ථානයට පැමිණි විට ඔව්හු නින්දිත බාල් දේවතාවන්ට කැප වූ හ. එබැවින් ඔවුන් දේවතාවන්ට ඇළුම් වූ තරමට ම මම ඔවුන් පිළිකුල් කෙළෙමි.</verse>
				<verse number="11">එප්‍රායිම්ගේ තේජස, ඉගිළී යන කුරුල්ලෙකු මෙන් පහ වී යන්නේ ය. දරුවන් ඉපදීමක් වත්, ගැබ් ගැනීමක් වත්, පිළිසිඳ ගැනීමක් වත් තවත් නොවන්නේ ය.</verse>
				<verse number="12">ඔවුන් දරුවන් ඇතිදැඩි කරතත්, ඉන් එකෙකු වත් ඉතිරි නොවන පරිදි මම ඔවුන් තුරන් කරන්නෙමි. මා මේ සෙනඟ අත් හැරදමා ගිය විට ඔවුන්ට වන විපතක මහත!”</verse>
				<verse number="13">මට දැන් පෙනෙන හැටියට එප්‍රායිම් සෙනඟ ඔවුන්ගේ දරුවන් ගොදුරු කොට දෙනු ඇත. මරනු ලබන පිණිස ඔවුන් ගෙන යා යුතු ය.</verse>
				<verse number="14">‘සමිඳුනි, මේ සෙනඟට දෙනු මැනව’ කියා, මම ඔබෙන් කුමක් ඉල්ලම් ද? දරුපල නොදෙන ගර්භ ද කිරි නොඑරෙන තන ද ඔවුන්ට දුන මැනව.</verse>
				<verse number="15">“ඔවුන්ගේ සියලු දුෂ්ට ක්‍රියා පටන් ගත්තේ ගිල්ගාල්හි දී ය. ඔවුන්ට ද්වේෂ කරන්නට මා පටන්ගත්තේ එහි දී ය. ඔවුන් කර ඇති නපුරු ක්‍රියා නිසා මාගේ දේශයෙන් මම ඔවුන් පලවා හරිමි. මම ඔවුන්ට තවත් ප්‍රේම නොකරමි. ඔවුන්ගේ සියලු අධිපතීහු මට විරුද්ධ ව කැරලිගැසූ හ.</verse>
				<verse number="16">එප්‍රායිම් සෙනඟ විනාශ වී ඇත; මුල් වියළී ගිය පල නොදරන ගසක් හා සමාන ය. ඔවුන්ට දරුපල ඇතිවුණත් මම ඔවුන්ගේ ඒ ප්‍රියාදර දරුවන් විනාශ කර දමමි.”</verse>
				<verse number="17">ඔවුන් මාගේ දෙවියන් වහන්සේට කීකරු නොවූ නිසා උන් වහන්සේ ඔවුන් පහකරදමන සේක. ඔව්හු විජාතීන් අතරේ මුළා වූ අය වන්නෝ ය.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">ඉශ්රායෙල් සෙනඟ බොහෝ පල දරන සරු මිදි වැලක් මෙන් වූ හ. ඔවුන්ගේ පල වැඩි වන්න වැඩි වන්න ඔව්හු වැඩි වැඩියෙන් පූජාසන සාදාගත්හ. ඔවුන්ගේ දේශය වර්ධනය වූ පමණට ඔව්හු පූජනීය රූපස්ථම්භ වැඩි කරගත්හ.</verse>
				<verse number="2">ඔවුන්ගේ සිත් භේද භින්න වී ඇත. ඔවුන් තමන්ගේ පාපයට දඬුවම් විඳිය යුතු ය. දෙවියන් වහන්සේ ඔවුන්ගේ පූජාසන කඩාදමා ඔවුන්ගේ පූජනීය රූපස්ථම්භ විනාශ කරනු ඇත.</verse>
				<verse number="3">මේ සෙනඟ නොබෝ කලකින් මෙසේ කියනු ඇත: “අප දෙවියන් වහන්සේට ගරුබිය නොදැක්වූ බැවින් අපට රජ කෙනෙක් නැත. එහෙත්, රජ කෙනෙකුගෙන් අපට වැඩක් ඇද් ද?</verse>
				<verse number="4">ඔවුන් හිස් වචන පවසනු ඇත; බොරු පොරොන්දුවලින් ගිවිසුම් කරනු ඇත. එබැවින් නඩුහබ කෙතේ ඕවිටිවල විෂ පැළෑටි මෙන් පැතිර යයි.</verse>
				<verse number="5">“සමාරිය වැසියෝ බෙත්-ආවෙන්‍හි වහු පිළිමය නිසා වෙවුලමින් සිටිති. ඔව්හු දුක් වන්නෝ ය. ඔවුන්ගේ කපුවෝ ද රන් වහු පිළිමයේ අලංකාරය පහකරනු ලැබූ නිසා හඬා වැලපෙති.</verse>
				<verse number="6">එය අසිරියාවට, එහි මහා රජුට, පඬුරක් වශයෙන් ගෙනයනු ලබන්නේ ය. එප්‍රායිම් ලජ්ජාවට පත් වනු ඇත. ඉශ්රායෙල් සෙනඟ පිළිගත් අවවාද නිසා ඔව්හු ලජ්ජා වන්නෝ ය.</verse>
				<verse number="7">සමාරියේ රජ වතුරට ගසාගෙන යන ලී පතුරක් සේ පහ වී යන්නේ ය.</verse>
				<verse number="8">ඉශ්රායෙල් සෙනඟගේ පාපය වන ගිරිකුළු දේවාල වනසනු ලබනවා ඇත. කටු හා ගොකටුවලින් ඔවුන්ගේ පූජාසන වැසී යන්නේ ය. ‘අප සඟවා ගන්නැ’යි කඳුවලටත්, ‘අප පිට වැටේ වා’යි හෙල්වලටත් සෙනඟ කියනු ඇත.”</verse>
				<verse number="9">“එම්බා ඉශ්රායෙල් ජනයෙනි, ගිබියාහි පව් කරන්නට පටන්ගත් දා පටන් නුඹලා මට විරුද්ධ ව පව් කිරීම නතර කර නැත. ඒ නිසා ගිබියාහි දී ඔවුන් කරා යුද්ධය පැමිණෙන්නේ නැද් ද?</verse>
				<verse number="10">මේ පාපිෂ්ට සෙනඟට දඬුවම් දෙන පිණිස මම පහර දෙමි. ජාතීන් ඔවුන්ට විරුද්ධ ව නැඟී අවුත් දෙවැදෑරුම් පාප නිසා ඔවුන්ට දඬුවම් කරනු ඇත.”</verse>
				<verse number="11">“එප්‍රායිම් වනාහි, ගොයම් පෑගීමට කැමැති මනා සේ පුහුණු කරන ලද එළ නෑම්බියකි. ඇගේ ශෝභන කර පිට වියගහක් දමා ඇත. එහෙත්, හාන්නට එප්‍රායිම් යොදා ගැන්මට මම තීරණය කරගතිමි. ඇගේ නගුල ජුදා විසින් ද ඇගේ දැති පෝරුව ජාකොබ් විසින් ද අදිනු ලබන්නට මම සැලැස්සුවෙමි.</verse>
				<verse number="12">ඔබ උදෙසා ධර්මිෂ්ඨකම වපුරාගන්න; ස්ථිර ප්‍රේමයට සුදුසු පල නෙළාගන්න. පුරන් බිම කොටන්න. නුඹේ සමිඳාණන් වහන්සේ වෙත හැරෙන්නට දැන් කාලය හරි ය. එවිට උන් වහන්සේ පැමිණ නුඹලා පිට ගැළවීමේ වැසි වස්වන සේක.</verse>
				<verse number="13">එහෙත්, නුඹලා දුෂ්ටකම හෑවහු ය; අයුතුකම කපාගත්තහු ය; මුසාවාදයේ ප්‍රතිඵල අනුභව කළහු ය. එසේ වූයේ නුඹලා තමන්ගේ ම යුද්ධ රථ කෙරෙහි ද නුඹලාගේ විශාල භට සංබ්‍යාව කෙරෙහි ද විශ්වාසය තැබූ බැවිනි.</verse>
				<verse number="14">එබැවින් නුඹලාගේ සෙනඟ පිට යුද්ධය පැමිණෙන්නේ ය; නුඹලාගේ සියලු බලකොටු විනාශ වන්නේ ය. ඒ දවස ෂල්මාන් රජු විසින් යුද්ධයේ දී බෙත්-අර්බේල් නගරය විනාශ කරනු ලැබූ, මවුවරුන් ද දරුවන් ද දරුණු ලෙස මරනු ලබන දවසට සමාන වන්නේ ය.</verse>
				<verse number="15">ඉශ්රායෙල් ජනයෙනි, නුඹලා කර ඇති බලවත් නපුරුකම් නිසා නුඹලාටත් වන්නේ මේ විපත ම ය. යුද ගිනි ඇවිලෙන විට ඉශ්රායෙල් සහමුලින් ම වනසා දමනු ලබනවා ඇත.”</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">“ඉශ්රායෙල් බාල වියේ දී මම ඔහුට ප්‍රේම කෙළෙමි; මා පුත් ඔහු මිසරයෙන් කැඳවාගතිමි.</verse>
				<verse number="2">මා ඔවුන් පුතෙකු සේ සලකන්න සලකන්න ඔව්හු වඩ වඩා මට පිටුපා යන්න ගියෝ ය. ඔව්හු බාල් දේවතාවන්ට පූජා කළහ; කැපූ රූපවලට සුවඳ දුම් ඔප්පු කළහ.</verse>
				<verse number="3">එප්‍රායිම් සෙනඟට ඇවිදින්නට ඉගැන්නුවේ මම ය. දෑතින් ඔවුන් වඩාගත්තේ මම ය. එහෙත්, මා ඔවුන් රැකබලාගත් බව ඔව්හු නොදැන සිටියෝ ය.</verse>
				<verse number="4">දයාවේ රැහැන්වලින් ද ප්‍රේමයේ බැමිවලින් ද මම ඔවුන්ට මඟ පෙන්නුවෙමි. ළදරුවෙකු ඔසවන සේ මම ඔවුන් මාගේ මුහුණට ඔසවාගතිමි; පහතට නැමී ඔවුන්ට කෑම කැව්වෙමි.</verse>
				<verse number="5">“ඔවුන් මා වෙත හැරී එන්නට අකමැති නිසා ඔවුන්ට මිසරයට ආපසු යන්න සිදු වේ. අසිරියා රජු ඔවුන් පාලනය කරනු ඇත.</verse>
				<verse number="6">ඔවුන්ගේ කුමන්ත්‍රණ නිසා ඔවුන්ගේ නගරවල යුද්ධ හටගෙන, එහි දොරටුවල පොලු බිඳ වැටී ඔවුන් විනාශ වනු ඇත.</verse>
				<verse number="7">ඔවුන් මට පිටුපා ගොස් ඇති බැවින් ඔවුන්ට වන විපතෙන් ඔවුන්ට බේරෙන්න බැරි ය. ඔවුන් පිට පැමිණි වියගහ නිසා ඔවුන් වැලපෙනු ඇත. එහෙත්, එය ඉවත් කරන්නට කිසිවෙක් ඉදිරිපත් නොවෙති.</verse>
				<verse number="8">
					“එප්‍රායිම් ජනයෙනි, මම කෙසේ ඔබ පාවා දෙන්නෙම් ද?
					ඉශ්රායෙල්, ඔබ කෙසේ අත්හරිම් ද? මා අද්මා නුවරට කළාක් මෙන් මට ඔබටත් කළ හැකි ද? ශෙබොයිම් නුවරට කළාක් මෙන් ඔබටත් කළ හැකි ද? එසේ කරන්නට මාගේ සිත ඉඩ නොදෙයි. ඒ ගැන සිතන විට මාගේ සිත කම්පා වෙයි.
				</verse>
				<verse number="9">දැඩි කෝපයට මම ඉඩ නොදෙමි. මම නැවත එප්‍රායිම් විනාශ නොකරමි. මන්ද, මම මනුෂ්‍යයෙකු නොව දෙවියන් වහන්සේ වෙමි. ඔබ සමඟ සිටින ශුද්ධ තැනැන් වහන්සේ මම ය, විනාශ කරන්නට මට ආශාවක් නැත. කෝපයෙන් මම ඔබ වෙත නොඑමි.</verse>
				<verse number="10">“ඔව්හු සමිඳාණන් වහන්සේ පසුපස්සේ එන්නෝ ය. මම සිංහයෙකු සේ ගොරවමි. මා ගොරවන විට දරුවෝ ද වෙවුලමින් බටහිර සිට එන්නෝ ය.</verse>
				<verse number="11">ඔව්හු කුරුල්ලන් මෙන් මිසර දේශයෙන් ද පරවියන් මෙන් අසිරියාවෙන්‍ ද විගසින් එන්නාහ. මම නැවත ඔවුන්, ඔවුන්ගේ නිවාසවලට ගෙනෙන්නෙමි. සමිඳාණන් වහන්සේ වන මම මෙසේ කීවෙමි.”</verse>
				<verse number="12">“එප්‍රායිම් බොරුවෙන්‍ ද ඉශ්රායෙල් සෙනඟ වංචාවෙන්‍ ද මා වට කරගෙන සිටිති; විශ්වාසී, ශුද්ධ තැනැන් වහන්සේ වන දෙවියන් වහන්සේට විරුද්ධ ව ජුදා සෙනඟ තවමත් කැරලි ගසමින් සිටිති.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">එප්‍රායිම් පෙරදිග සුළඟ පස්සේ දුවමින් එයින් වාසි ගැනීමට මාන බලති. බොරුව ද අපරාධය ද ඔවුන් අතර අධික වී ඇත. ඔව්හු අසිරියාව සමඟ ගිවිසුම් ද මිසර දේශය සමඟ තෙල් ගනු දෙනු ද කරගනිති.”</verse>
				<verse number="2">ජුදාහි සෙනඟට විරුද්ධ ව සමිඳාණන් වහන්සේට පැමිණිල්ලක් ඇත. තවද, උන් වහන්සේ ජාකොබ් සෙනඟගේ හැසිරීමට නිසි දඬුවම දෙන සේක. ඔවුන්ගේ ක්‍රියාවලට නිසි විපාකය දෙන සේක.</verse>
				<verse number="3">මවු කුසයේ සිටිය දී ම ජාකොබ් සිය සහෝදරයා රැවටුවේ ය. ඔහු වැඩිහිටියෙකු වූ විට දෙවියන් වහන්සේට විරුද්ධ ව පොරබැදුවේ ය.</verse>
				<verse number="4">ඔහු දේව දූතයෙකු සමඟ පොරබදා ජයගත්තේ ය. ඔහු හඬා ආශීර්වාදයක් ඉල්ලුවේ ය. උන් වහන්සේ ඔහුට සම්බ විය. උන් වහන්සේ බෙතෙල්හි දී ඔහු සමඟ කතා කළ සේක.</verse>
				<verse number="5">මම වනාහි සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේගේ නාමය සමිඳාණන් වහන්සේ ය.</verse>
				<verse number="6">එබැවින් නුඹලා දෙවියන් වහන්සේ වෙත හැරී, ප්‍රේමයෙන්, යුක්තිගරුක ව උන් වහන්සේ කෙරෙහි නිරන්තර බලාපොරොත්තුවෙන්‍ සිටින්න.</verse>
				<verse number="7">ඉශ්රායෙල් සෙනඟ කානානි ජාතික වෙළෙන්දන් මෙන් හොර තරාදි ඇති ව අනුන් රැවටීමට ප්‍රිය වෙති.</verse>
				<verse number="8">එසේ වුව ද, “අපි ධනවත් ය; වස්තු සම්භාර රැස් කරගෙන සිටිමු; ‘වංචාවෙන් ඔව්හු පොහොසත් වූ හ’යි අපට චෝදනා කරන්නට කිසිවෙකුට බැරි ය”යි එප්‍රායිම් සෙනඟ කියති.</verse>
				<verse number="9">මිසර දේශයෙන් ගෙනා දා සිට නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම ය. පාළුකරයේ දී මෙන් නුඹලා කූඩාරම්වල ජීවත් වුණා සේ ම ඉදිරියටත් නුඹලා කූඩාරම්වල වාසය කරවන්නෙමි.</verse>
				<verse number="10">ඇරත් මම දිවැසිවරයන්ට කතා කොට, “මම ම බොහෝ දර්ශන පෙන්වා දිවැසිවරුන් මඟින් උපමා භාවිතා කෙළෙමි.</verse>
				<verse number="11">ගිලියද්හි ඔවුන් අයුතුකම් කර ඇත. ඔව්හු සහමුලින් ම නිෂ්ඵල ය. ඔව්හු ගිලියද්හි ගොනුන් පූජා කරති. එසේ ය, ඔවුන්ගේ පූජාසන ද කෙතේ හීවිටි මත තිබෙන ගල් ගොඩවල් වැනි ය.”</verse>
				<verse number="12">ජාකොබ්ට මෙසොපොතේමියාවට පලා යන්නට සිදු විය. එහි දී භාර්යාවක ලබාගන්න පිණිස සේවය කරමින් බැටළුවන් බලාගත්තේ ය.</verse>
				<verse number="13">සමිඳාණන් වහන්සේ දිවැසිවරයෙකු ලවා මිසර දේශයෙන් ඉශ්රායෙල් මුදාගත් සේක. දිවැසිවරයෙකු ලවා ඔවුන් ආරක්ෂා කළ සේක.</verse>
				<verse number="14">එප්‍රායිම් සෙනඟ දෙවියන් වහන්සේ තදින් කෝප කරවා ඇත. එබැවින් ඔවුන්ගේ අපරාධවලට ඔවුන්ට මරණ දඬුවම දෙනු ඇත. උන් වහන්සේට කර ඇති නින්දාව, උන් වහන්සේ ඔවුන් පිට ම පවරන සේක.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">එප්‍රායිම් වංශය කතා කළ විට අන් සියල්ලෝ වෙවුලුවෝ ය. මන්ද, ඉශ්රායෙල් වංශ අතරේ එප්‍රායිම් එපමණට උසස් කොට සලකනු ලැබී ය. එහෙත්, එහි වැසියෝ බාල් දේවතාවන්ට නමස්කාර කිරීමේ වරදට පත් වූ බැවින් මරණයට පත් වූ හ.</verse>
				<verse number="2">දැන් ඔව්හු තව තවත් පව් කරමින් නැමදීමට තමන්ගේ රිදීවලින් දක්ෂ ලෙස වාත්තු කළ දේව රූප තනා ගනිති. ඒවා වනාහි කම්කරුවන්ගේ නිෂ්පාදන පමණකි. ‘පූජා කරන මිනිස්සු වහු පිළිම සිඹ ගනිත් වා’යි කියති.</verse>
				<verse number="3">එබැවින් ඔව්හු අලුයම මීදුම මෙන් ද ඉක්මනින් නැති වී යන පිනි මෙන් ද සුළඟට ගසාගෙන යන කමතේ බොල් මෙන් ද දුම් කවුළුවෙන්‍ පිට වෙන දුම මෙන් ද වන්නෝ ය.</verse>
				<verse number="4">“නුඹලා මිසර දේශයෙන් ගෙනා දා සිට ම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම ය. මා හැර අන් දෙවි කෙනෙකු ඔබ නොදැන සිටියහු ය. මා හැර අන් ගැළවුම්කාරයෙක් නුඹලාට නැත.</verse>
				<verse number="5">තද ඉඩෝරය ඇති පාළුකරයේ නුඹලා පෝෂණය කෙළේ මම ය.</verse>
				<verse number="6">ඔව්හු පසු ව තෘප්තියට පැමිණියෝ ය. තෘප්තියට පැමිණ උඩඟු වූ හ. එවිට ඔව්හු මා අමතක කළෝ ය.</verse>
				<verse number="7">එබැවින් මම ඔවුන්ට සිංහයෙකු මෙන් වන්නෙමි; මඟ රැක සිටින දිවියෙකු මෙන් වන්නෙමි.</verse>
				<verse number="8">පැටවුන් නැති වූ වැලහින්නියක මෙන් මම ඔවුන් පිට කඩා පැන ඔවුන් දෙපළු කරදමන්නෙමි. සිංහයෙකු මෙන් මම ඔවුන් එතැනදී ම කාදමන්නෙමි. වන මෘගයෙකු මෙන් ඉරාදමන්නෙමි.</verse>
				<verse number="9">“අනේ ඉශ්රායෙල් ජනයෙනි! මම නුඹලා විනාශ කරදමන්නෙමි. නුඹලාට පිහිට වන්නේ කවරෙක් ද?</verse>
				<verse number="10">නුඹලා රජ කෙනෙකු ද අධිපතීන් ද ඉල්ලුවහු ය. නුඹලා ගළවාගන්න නුඹලාගේ රජ දැන් කොහේ ද? නුඹලා ආරක්ෂා කරන්න අධිපතීහු කොහේ ද?</verse>
				<verse number="11">මාගේ උදහසින් මම නුඹලාට රජෙකු දිනිමි; මම කෝපයෙන් ඔහු පහ කෙළෙමි.</verse>
				<verse number="12">“එප්‍රායිම් සෙනඟගේ පාප හා අපරාධ සටහන් කර ඇත. ඒ සටහන් සුරක්ෂිත ව තැන්පත් කර ඇත.</verse>
				<verse number="13">ඉශ්රායෙල් වනාහි, බිහි වීමට අවස්ථාව පැමිණ ඇතත්, මවු කුසයෙන් පිටතට නොඑන මෝඩ දරුවෙකු හා සමාන ය. එබැවින් ප්‍රසූත කාලය පැමිණියත් ඔහු බිහි නොවෙයි.</verse>
				<verse number="14">මම මේ සෙනඟ පාතාලයෙන් ගළවන්නෙම් ද? මරණ බලයෙන් මුදන්නෙම් ද? එම්බා මරණය! ඔබේ වසංගතය කොහේ ද? එම්බා පාතාලය! ඔබේ විනාශය කොහේ ද? මොවුන් කෙරෙහි මට අනුකම්පාවක් නැත.</verse>
				<verse number="15">ඔවුන් සශ්‍රික බට ගස්මෙන් සරු වෙතත්, ඔවුන්ගේ උල්පත් හා ජලාශ වියළී යන පිණිස සමිඳාණන් වහන්සේ පාළුකරයෙන් පෙරදිග සුළඟක් එවන සේක. වටිනා සියලු දේ එයින් නැති වී යන්නේ ය.</verse>
				<verse number="16">දෙවියන් වහන්සේට විරුද්ධ ව කැරලි ගසා ඇති බැවින් සමාරිය දඬුවම් ලබන්නී ය. සමාරිය වැසියෝ යුද්ධයේ දී විනාශ වන්නාහ. අත දරුවෝ බිම ගසා මරනු ලබන්නෝ ය. ගර්භණීන් ඉරාදමනු ඇත.”</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">ඉශ්රායෙල් ජනයෙනි, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත හැරී එන්න. ඔබේ අයුතුකම් නිසා ඔබ වැටී සිටින්නහු ය.</verse>
				<verse number="2">සමිඳාණන් වහන්සේ වෙත හැරී අවුත් මේ යාච්ඤාව උන් වහන්සේට ඔප්පු කරන්න: “අපේ සියලු අපරාධවලට කමා වී අපේ යාච්ඤා කරුණාවෙන්‍ පිළිගත මැනව. එවිට අපි පොරොන්දු වූ පරිදි ඔබට ප්‍රශංසා කරන්නෙමු.</verse>
				<verse number="3">අප ගළවන්න අසිරියාවට නොහැකි ය: යුද්ධ රථ වාහනවලට අප ආරක්ෂා කළ නොහැකි ය. මින්පසු කිසි කලෙක අතින් තැනූ දේව රූප අමතා, ‘ඔබ අපේ දෙවියෝ ය’යි නොකියමු. ස්වාමීනි, අනාථ අයට ඔබ වහන්සේ දයානුකම්පාව දක්වන සේක.”</verse>
				<verse number="4">“මම ඔවුන්ගේ අපක්ෂපාතකම සුව කරමි; මාගේ මුළු සිතින් ඔවුන්ට ප්‍රේම කරමි. මන්ද, ඔවුන් කෙරේ මාගේ උදහස පහ වී ගොස් ඇත.</verse>
				<verse number="5">ඉශ්රායෙල්ට මම පිනි මෙන් වන්නෙමි. ඔවුන් මානෙල් මෙන් පිපෙනු ඇත; ලෙබනොන්හි ගස් මෙන් මුල් අදිනු ඇත.</verse>
				<verse number="6">ඔවුන්ගේ අතු විහිදී යයි; ඔලීව ගස් මෙන් හොබනේ වෙයි; ලෙබනොන්හි මෙන් සුවඳ පතුරයි.</verse>
				<verse number="7">ඔවුන් යළිත් ආපසු පැමිණ මාගේ සෙවණෙහි වසනු ඇත; උයනක් සේ සමෘද්ධ වී මිදි වැලක් සේ පල දරනු ඇත; ලෙබනොන්හි මිදියුස මෙන් කීර්තිමත් වනු ඇත.</verse>
				<verse number="8">එප්‍රායිම් සෙනඟට දේව රූපවලින් තවත් වැඩක් ඇද් ද? නුඹලාට පිළිතුරු දී නුඹලා ආරක්ෂා කරන්නේ මම ය. මම කිසි කලෙක නොමැලවෙන දේවදාර ගසකි. නුඹලාගේ රැකවරණය මම ය. නුඹලාගේ සියලු ආසිරිවලට උල්පත මම ය.”</verse>
				<verse number="9">මෙහි ලියා ඇති දේ ප්‍රඥාවන්තයෝ තේරුම්ගනිත් වා! බුද්ධිමත්තු දැනගනිත් වා! සමිඳාණන් වහන්සේගේ මාර්ගය සෘජු ය; ධර්මිෂ්ඨයෝ ඒ මාර්ගයෙහි ගමන් කරති. එහෙත්, පව්කාරයෝ එහි පැකිළ වැටෙති.</verse>
			</chapter>
		</book>
		<book number="29">
			<chapter number="1">
				<verse number="1">පෙතුයෙල්ගේ පුත් ජෝවෙල් වෙත පැමිණි සමිඳාණන්ගේ පණිවුඩය මෙය වේ:</verse>
				<verse number="2">“මහල්ලෙනි, සවන් දෙන්න; දේශයේ සියලු වැසියෙනි, කන් යොමු කරන්න. මෙබන්දක් ඔබේ කාලයේ වත් ඔබේ මුතුන්මිත්තන්ගේ කාලයේ වත් සිදු වී ඇද් ද?</verse>
				<verse number="3">ඔබේ දරුවන්ට ඒ ගැන කියන්න; ඔව්හු තමන්ගේ දරුවන්ටත් ඒ ගැන කියත් වා! ඔව්හු ද, මතු පරම්පරාවටත් ඒ ගැන කියා දෙත් වා!</verse>
				<verse number="4">පළඟැටි පණුවන් කා ඉතිරි කළ දේ වැඩුණු පළඟැටියෝ කාදැමූ හ. වැඩුණු පළඟැටියන් කා ඉතිරි කළ දේ පනින පළඟැටියෝ කාදැමූ හ. පනින පළඟැටියන් කා ඉතිරි කළ දේ කපන පළඟැටියෝ කාදැමූ හ.</verse>
				<verse number="5">සුරා සොඬුනි, පිබිද වැලපෙව්! බේබද්දෙනි, කෑමොරගසව්! මන්ද, මිදිරස ඔබේ මුවින් පහවී ගොස් ඇත.</verse>
				<verse number="6">
					ගිණිය නොහැකි, බලසම්පන්න පළඟැටි සේනාවක් මාගේ රට ආක්‍රමණය කර ඇත.
					ඔවුන්ගේ දත් සිංහ දත් මෙන් ය. සිංහ ධේනුවකගේ දළ ඔවුන්ට ඇත.
				</verse>
				<verse number="7">උන් මාගේ මිදි වැල් පාළු කර ඇත; මාගේ අත්තික්කා ගස් විකාදමා ඇත; ඒවායේ පොතු ගලවා බිම හෙළා ඇත. එහි අතු දැන් සුදු වී ඇත.</verse>
				<verse number="8">සිය යොවුන් වියේ දී විවා බස් දුන් පෙම්වතා මියගිය බැවින් දළ රෙදි හැඳගත් කන්‍යාවක මෙන් හඬා වැලපෙන්න.</verse>
				<verse number="9">දේව මාලිගාවේ ආහාර පූජාව ද පානීය පූජාව ද නැත. පූජකවරු, සමිඳුන්ගේ පූජකවරු, වැලපෙන්නෝ ය.</verse>
				<verse number="10">කෙත්වතු පාළු වී ගොසින් ය; භූමිය වැලපෙන්නේ ය; මන්ද, ගොයම් වැනසී, මිදි පල වියළී තෙල් හීන වී ගොස් ඇත.</verse>
				<verse number="11">ගොවියෙනි, දුකින් තැවෙන්න; මිදි වතුකාරයෙනි, වැලපෙන්න. මන්ද, තිරිඟු ද බාර්ලි ද කෙතේ ගොයම් ද වැනසී ඇත.</verse>
				<verse number="12">මිදි වලු පර වී, අත්තික්කා ගස් මැලවී දෙළුම්, තල්, ජම්බු, සියලු ගස් වියළී ඇත. මිනිසාගේ ප්‍රීතිය දුරු වී ඇත.</verse>
				<verse number="13">“පූජකවරුනි, ගෝණි රෙදි ඔතාගෙන වැලපෙන්න. පුදසුනේ සේවකයෙනි, කෑමොරගසන්න. පූජකවරුනි, ගෝණි රෙදි පොරවාගෙන මුළු රැයක් වැතිර සිටින්න. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පිදීමට ආහාර පූජාවත්, පානීය පූජාවත් කිසිත් නැත.</verse>
				<verse number="14">උපවාසයක් නියම කරන්න; අයැදුමට සෙනඟ රැස් කරන්න. ප්‍රජා මූලිකයන් සහ රටේ සියලු වැසියන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාවට රැස් කරවා උන් වහන්සේට මොරගසන්න.</verse>
				<verse number="15">
					අහෝ!
					ඒ දවස, සමිඳාණන් වහන්සේගේ දවස, ආසන්න ව ඇත. එය සර්ව පරාක්‍රමයාණන් වෙතින් විනාශයක් සේ පැමිණෙනු ඇත.
				</verse>
				<verse number="16">අප ඇස් හමුයෙහි ම ආහාර පහවී ගොස් නැද් ද? දේව මාලිගාවෙන් ප්‍රීති ප්‍රමෝදය පහවී ගොස් නැද් ද?</verse>
				<verse number="17">පස් පිඬලි යට බීජ දිරා යයි; අටු කොටු පාළු වී ඇත; ගබඩා ගරාවැටී ඇත. මන්ද, ගොයම් වියළී ගොස් තිබේ.</verse>
				<verse number="18">අනේ! සිවුපා සතුන් කෙඳිරිගාන හැටි! තණකොළ නැති බැවින් ගව රැළ කැළඹී ඇවිදිති; බැටළු රැළ පවා දුක් විඳිති.</verse>
				<verse number="19">සමිඳුනි, මම ඔබට අයැදුම් කරමි. මන්ද, කෙතේ තණ බිම් ගින්නෙන් දැවී ගොස් ඇත; උයන්වල සියලු ගස් ගිනිබත් වී ඇත.</verse>
				<verse number="20">වන මෘගයෝ පවා ඔබ දෙස බලා සිටිති. මන්ද, උල්පත් සිඳී ඇත. කෙතේ තණ බිම් ගින්නෙන් දැවී ගොස් ඇත.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">“සියොන්හි හොරණෑව පිඹින්න; දෙවිඳුන්ගේ ශුද්ධ කන්දේ අනතුරු හඬ නඟන්න. දේශයේ සියලු වැසියෝ වෙවුලත් වා! මන්ද, සමිඳාණන් වහන්සේගේ දවස පැමිණේ. එසේ ය, එය ආසන්න ය.</verse>
				<verse number="2">ඒ දවස කළුවර අඳුරු දවසක් ය; වලාකුළු සහිත ගන අඳුරු දවසක් ය. ගන අඳුර කඳු පිට පැතිර යන්නාක් මෙන් මහා හමුදාවක් පැමිණෙන්නේ ය. එවැන්නක් කිසි කලෙක නො වී ය; මතු පරම්පරාවල කවදා වත් නොවන්නේ ය.</verse>
				<verse number="3">උන්ට පෙරටුව වනසාලන ගින්න නාස්ති කරයි; උන්ට පස්සෙන් බුර බුරා නඟින ගිනි ජාලාවක් ඇවිලෙයි. උන්ට පෙරටුවෙන් දේශය ඒදන් උයන මෙන් තිබේ. උන්ට පස්සෙන් එය පාළුකරයක් වන්නේ ය. උන්ගෙන් බේරෙන කිසිවෙක් නැත.</verse>
				<verse number="4">
					පෙනුමට උන් අසුන් වැනි ය;
					උන් දුවන්නේ රණ අසුන් ලෙස ය.
				</verse>
				<verse number="5">අශ්ව රථ ශබ්දය මෙන් ද ගින්නෙහි දැවෙන ඉපනැලි මෙන් ද සටනට පෙළගැසුණු සේනාවක් මෙන් ද ගිරි කුළු මත පැන පැන උහු යති.</verse>
				<verse number="6">උන් ඉදිරියේ ජනයෝ වෙවුලති; සියලු මුහුණු මැලවී යයි.</verse>
				<verse number="7">රණ ශූරයන් මෙන් ඔව්හු ඉදිරියට යති; යුද භටයන් මෙන් පවුරට නඟිති; එකිනෙකා නියමිත මඟ ගමන් කරයි.</verse>
				<verse number="8">උන් යන විට හැලහැප්පීමක් නැත; මාර්ගයෙන් පිට යාමක් ද නැත. අවි ආයුධ මැදින් කඩා පැන පසු නොබැස ඉදිරියට ම යති.</verse>
				<verse number="9">උන් නගරයට කඩා පනිති; පවුරු පිට නැඟ දුවති; නිවෙස් මුදුනට නැඟ සොරුන් මෙන් කවුළුවලින් රිංගා යති.</verse>
				<verse number="10">
					උන් ඉදිරියෙහි පොළොව කම්පා වෙයි;
					අහස ගුගුරයි; ඉර හඳ අඳුරු වෙයි; තරු තවත් නොබබළයි.
				</verse>
				<verse number="11">
					සමිඳුන් සිය සේනාවට මහ හඬින් අණ දෙන සේක.
					භට හමුදාව අතිවිශාල ය; ඒ අණට කීකරු වන්නා අතිබලවන්ත ය; සමිඳුන්ගේ දවස ත්‍රාසජනක ය; අතිභයංකර ය. එය දැරිය හැක්කේ කවරෙකුට ද?”
				</verse>
				<verse number="12">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “උපවාසයෙන් ද වැලපීමෙන් ද මුළු සිතින් දැන් වත් මා වෙත හැරී එන්න.</verse>
				<verse number="13">වත ඉරාගෙන නොව, සිත ඉරාගෙන, නුඹේ දෙවි සමිඳුන් වෙත හැරී එන්න. මන්ද, එතුමාණෝ, කරුණාභරිත, දයාන්විත, වහා නොකිපෙන, තිර පෙමින් සමන්විත, කමා වීමට කැමැති දෙවි කෙනෙකි.</verse>
				<verse number="14">සමහර විට එතුමාණන් සිය සිත වෙනස් කරගෙන කමා වී අපට ආශීර්වාද කිරීම නිසා, ආහාර පූජා ද පානීය පූජා ද ඔබේ දෙවි සමිඳුන්ට ඔප්පු කරන්නට හැකි වනු ඇද්දැ යි කවරෙක් දනිත් ද?</verse>
				<verse number="15">සියොන් කන්දේ හොරණෑව පිඹින්න; උපවාසයක් පණවා, අයැදුමට සෙනඟ රැස් කරන්න.</verse>
				<verse number="16">සෙනඟ එක්රැස් කරන්න; ශුද්ධ සභාවට ඔවුන් සූදානම් කරන්න. ප්‍රජා මූලිකයන් එකතු කරන්න; ළමයින් ද කිරි දරුවන් ද ගෙන එන්න; මනාලයා තම යහන් ගබඩාවෙන් ද මනාලිය තම නිදන කුටියෙන් ද පිටත එත් වා!</verse>
				<verse number="17">ද්වාර මණ්ඩපය හා පූජාසනය අතර සිටින සමිඳුන්ගේ සේවක පූජකයෝ හඬා වැලපෙමින්, ‘සමිඳුනි, ඔබේ සෙනඟට අනුකම්පා කළ මැනව, ඔබේ දෙවියෝ කොයි දැ යි ජාතීන් අතරේ කීමට ඉඩ නොහැරිය මැනවැ’යි කියත් වා!”</verse>
				<verse number="18">එවිට සමිඳාණන් වහන්සේ දේශය ගැන උද්‍යෝගවත් වී සෙනඟට අනුකම්පා කළ සේක.</verse>
				<verse number="19">උන් වහන්සේ ඔවුන්ට මෙසේ පිළිතුරු දුන් සේක. “මෙන්න, නුඹලා තෘප්තියට පැමිණෙන පිණිස ධාන්‍ය ද මිදියුස ද තෙල් ද මම නුඹලාට දෙමි. මින්පසු නුඹලාට නින්දා කිරීමට විජාතීන්ට ඉඩ නොදෙමි.</verse>
				<verse number="20">මම උතුරු හමුදාව නුඹලා වෙතින් ඈත් කර, ඔවුන් නිසරු, පාළු දේශයකට පලවා හරිමි. පෙරමුණෙහි සේනා මළ මුහුදටත් පසුපස සේනා මධ්‍යධරණි මුහුදටත් පලවා හරිමි. ඔවුන් කළ අහංකාරී ක්‍රියා නිසා ඔවුන්ගේ මළකඳන්වලින් දුගඳ පැතිරී යනු ඇත.</verse>
				<verse number="21">එම්බා දේශය! බිය නොවී ප්‍රීති ප්‍රමෝද වන්න. මන්ද, සමිඳුන් ඉමහත් දේ කර ඇත.</verse>
				<verse number="22">වන මෘගයෙනි, බිය නොවව්, මන්ද, කෙතේ තණ සරුසාර ය; ගස්වල පල හටගන්නේ ය. අත්තික්කා ගස්වලින් හා මිදි වැල්වලින් බහුල අස්වැන්නක් ලැබේ.</verse>
				<verse number="23">සියොන් වැසියෙනි, ප්‍රීති වන්න. ඔබේ දෙවි සමිඳුන් කෙරෙහි ප්‍රීති ප්‍රමෝද වන්න. එතුමාණෝ, ඔබට ශරත් කාලයේ නිසි තරමට වැසි ද ශීත කාලයේ මහා වැසි ද වසන්ත කාලයේ පෙර මෙන් වැසි ද වස්වන සේක.</verse>
				<verse number="24">කමත් ධාන්‍යයෙන් පිරෙනු ඇත; මිදියුස ද තෙල් ද භාජනවලින් ඉතිරී යනු ඇත.</verse>
				<verse number="25">නුඹලා විනාශ කරන්නට මා විසින් එවන ලද මහා හමුදාවන් වන වැඩුණු පළඟැටියන් ද පනින පළඟැටියන් ද කපන පළඟැටියන් ද පළඟැටි පණුවන් ද කාදැමූ කාලයේ දී විනාශ වී ගිය දේ මම ආපසු නුඹලාට දෙමි.</verse>
				<verse number="26">නුඹලා කා තෘප්තියට පැමිණ නුඹලා උදෙසා පුදුම දේ කළ නුඹලාගේ දෙවි සමිඳුන්ගේ නාමයට පැසසුම් කරන්න. මාගේ සෙනඟ මින්පසු කිසි කලෙක ලජ්ජාවට නොපැමිණෙති.</verse>
				<verse number="27">එවිට මා ඉශ්රායෙල් සෙනඟ අතරේ වැඩ සිටින බව ද අන් දෙවි කෙනෙකු නුඹලාට නැති බව ද නුඹලා දැනගනු ඇත. මාගේ සෙනඟ මින්පසු කිසි කලෙක ලජ්ජාවට නොපැමිණෙති.</verse>
				<verse number="28">“ඉන්පසු, සකල මනුෂ්‍යයන් කෙරෙහි මාගේ ආත්මානුභාවය ප්‍රදානය කරමි. එවිට, නුඹලාගේ දූ පුත්තු දිවැස් වැකි කියති. මහල්ලෝ ස්වප්න දකිති; තරුණයෝ දර්ශන දකිති.</verse>
				<verse number="29">ඒ කාලයේ දී, දැසිදසුන් කෙරෙහි වුව ද මාගේ ආත්මානුභාවය ප්‍රදානය කරන්නෙමි.</verse>
				<verse number="30">ඒ දවස ගැන අහස් ගැබෙහි හා පොළෝ‍ තලයේ මම පෙර නිමිති දක්වාලමි. ලේ ද ගිනි ද දුම් කඳු ද එකල ඇති වේ.</verse>
				<verse number="31">
					උදාර, අතිභයානක දවස වන සමිඳුන්ගේ දවස, උදා වන්නට පෙර ඉර අඳුරු වන්නේ ය;
					හඳ ලේ පාට වන්නේ ය.
				</verse>
				<verse number="32">
					එවිට, සමිඳුන්ගේ නාමය කියා අයැදින කවුරු නමුත් ගළවනු ලබන්නෝ ය.
					සමිඳුන් කියා ඇති පරිදි ගැළවෙන අය ද ඉතිරි අය අතර සමිඳුන් කැඳවන අය ද සියොන් කන්දේ සහ ජෙරුසලමේ සිටිනු ඇත.
				</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">“ඒ කාලයේ දී, ඒ දවස්වල දී මා ජුදය හා ජෙරුසලම පුනරුත්ථාපනය කරන විට,</verse>
				<verse number="2">මම සියලු ජාතීන් එක්රැස් කර, විනිසුම් යන අරුත් ඇති ජෙහෝෂාපාට් නම් මිටියාවතට පමුණුවා, මාගේ උරුමය වන ඉශ්රායෙල් සෙනඟට කර ඇති සියලු දේ ගැන ඔවුන් විනිශ්චය කරමි. මන්ද, ඔවුන් ඉශ්රායෙල්වරුන් විදේශවල විසුරුවා හැර, මාගේ දේශය ඔවුන් අතර බෙදාගත් බැවිනි.</verse>
				<verse number="3">ඔව්හු මාගේ සෙනඟ බෙදාගන්න පිණිස දාදු දැමූ හ. ඔව්හු වේශ්‍යාවක ගැනීම සඳහා පිරිමි ළමයෙකු දුන්නෝ ය. මුද්‍රික පානය බොන පිණිස ගෑණු ළමයෙකු වික්කෝ ය.</verse>
				<verse number="4">
					තීර්, සීදොන් හා පිලිස්තියේ සියලු පළාත්වල වැසියෙනි, නුඹලා මට කරන්න යන්නේ කුමක් ද?
					නුඹලා මාගෙන් පළිගන්නට බලන්නහු ද? නුඹලා මාගෙන් පළිගන්නට යන්නහු නම්, මට කරන්නට යන දේ විගසින් ම නුඹලාට පල දෙන්නට සලස්වන්නෙමි.
				</verse>
				<verse number="5">මන්ද, නුඹලා මාගෙන් රන් රිදී ගෙන ගොස් ඇත. මාගේ වටිනා වස්තු නුඹලාගේ දේවාලවලට පැහැරගෙන ගොස් ඇත.</verse>
				<verse number="6">ජුදාවේ හා ජෙරුසලමේ සෙනඟ දුරබැහැර ගෙන ගොස් ග්‍රීක්වරුන්ට විකුණා ඇත.</verse>
				<verse number="7">දැන්, නුඹලා ඔවුන් විකුණා ඇති පළාත්වලින් මම ඔවුන් මුදාගෙන එන්නෙමි. නුඹලා ඔවුන්ට කළ දේ මම නුඹලාට ම පල දෙන්නට සලස්වන්නෙමි.</verse>
				<verse number="8">නුඹලාගේ දූ දරුවන් මම ජුදා වැසියන් අතට විකුණන්නෙමි. ජුදා වැසියන් ඔවුන් දුරබැහැර සේබියන්වරුන්ට විකුණනු ඇත. සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක.</verse>
				<verse number="9">මේ නිවේදනය ජාතීන් අතර ප්‍රකාශ කරන්න: “යුද්ධයට සැරසෙන්න; බලවතුන් පුබුදුවන්න; භට හමුදා රැස් කරන්න; ඔව්හු ඉදිරියට පැමිණෙත් වා!</verse>
				<verse number="10">
					නඟුල් දැතිවලින් කඩු ද දෑකැතිවලින් හෙල්ල ද තළාගන්න ‘මම බලවන්තයෙක්මි’යි බෙල හීනයා කියාගනී වා!
				</verse>
				<verse number="11">එම්බා අවටින් සිටින සකල ජනයෙනි! කඩිනමින් පැමිණෙන්න; එහි රැස් වන්න.” සමිඳුනි, ඔබේ බලවත් සේනාවන් එවන්න.</verse>
				<verse number="12">“ජාතීහු සැරසී ජෙහෝෂාපාට් මිටියාවතට නැඟිට එත් වා! මන්ද, අවටින් සිටින සකල ජාතීන් විනිශ්චය කිරීමට මම එහි අසුන් ගන්නෙමි.</verse>
				<verse number="13">
					අස්වැන්න පැසී ඇති බැවින් දෑකැත්ත යොදන්න;
					මිදි යන්ත්‍ර පිරී ඇති බැවින් ඇතුළට ගොස් පාගන්න; ඔවුන්ගේ නපුරුකම් අධික බැවින් බඳුන් උතුරා යයි.”
				</verse>
				<verse number="14">කෝටි සංබ්‍යාත මහා ජනකායක් තීන්දු දීමේ මිටියාවතේ රැස් වී සිටිති. තීන්දු දීමේ මිටියාවතෙහි සමිඳුන්ගේ දවස ළං ව ඇත.</verse>
				<verse number="15">ඉර හඳ අඳුරු වී ඇත; තරුවල දීප්තිය නිවී ගොස් ඇත.</verse>
				<verse number="16">සමිඳාණෝ සියොන්හි ගර්ජනා කරන සේක; ජෙරුසලමේ සිට හඬ නඟන සේක. අහසත් පොළොවත් කම්පා වනු ඇත. එහෙත්, සමිඳාණෝ සිය සෙනඟට රක්ෂා ස්ථානයක් වන සේක. ඉශ්රායෙල් ජනයාට බලකොටුවක් වන සේක.</verse>
				<verse number="17">“ඉශ්රායෙල් ජනයෙනි, මෙසේ මා, ඔබේ දෙවි සමිඳුන් බව ඔබ දැනගන්නහු ය. මම සියොන් නම් මාගේ ශුද්ධ කන්දේ වැඩ වාසය කරමි. ජෙරුසලම ශුද්ධ නගරයක් වන්නේ ය. විජාතීහු මින්පසු එය මැදින් නොයන්නාහු ය.</verse>
				<verse number="18">ඒ කාලයේ දී, කඳුවලින් මිදියුස වෑස්සෙනු ඇත; හෙල්වලින් කිරි ගලා යනු ඇත. ජුදාහි සියලු ඇල දොළවල වතුර පිරෙනු ඇත. සමිඳුන්ගේ මාලිගාවෙන් උල්පත් නික්ම ෂිට්ටිම් මිටියාවතට වතුර දෙනු ඇත.</verse>
				<verse number="19">ජුදා වැසියන්ට බලහත්කාරකම් කොට, ඒ රටේ මිනිසුන් මරාදැමූ නිසා මිසර දේශය පාළුකරයක් වන්නේ ය. ඒදොම් රට මරුකතරක් වන්නේ ය.</verse>
				<verse number="20">ජුදාහි සදහට ම ද ජෙරුසලමේ පරම්පරාවෙන් පරම්පරාවට ද සෙනඟ වාසය කරනු ඇත.</verse>
				<verse number="21">මන්ද, සමිඳාණෝ සියොන් කන්දේ වැඩ වාසය කරන සේක. සියලු වරදකරුවන්ට මම දඬුවම් දෙමි. ඔවුන්ගේ ලේ වැගිරීමේ වරද ගැන මම පළිගනිමි.”</verse>
			</chapter>
		</book>
		<book number="30">
			<chapter number="1">
				<verse number="1">මේ වනාහි තෙකෝවා ගම්වැසි එඬේරුන්ගෙන් කෙනෙකු වූ ආමොස් ඉශ්රායෙල් දේශය සම්බන්ධයෙන් දුටු දර්ශන පිළිබඳ පැවසූ වචන වේ. මේ දර්ශන ඔහු දුටුවේ, උශ්ශියා ජුදාහි ද ජෝවාෂ්ගේ පුත් ජෙරොබෝවම් ඉශ්රායෙල්හි ද රජ ව සිටි කාලයේ දී, භූමිකම්පාවට දෙවසරකට පෙර ය.</verse>
				<verse number="2">
					ආමොස් මෙසේ පැවසී ය:
					“සමිඳාණෝ සියොන් කන්දේ සිට ගර්ජනා කරති; ජෙරුසලමේ සිට හඬ නඟා ගිගුරුම් දෙති. එවිට එඬේරුන්ගේ තණ බිම් දැවී යනු ඇත, කර්මෙල් කඳු මුදුන වියළී යනු ඇත.”
				</verse>
				<verse number="3">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “දමස්කයේ වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් යකඩ කූරු ඇති කුළුගෙඩිවලින් තළා පෙළන්නා සේ ගිලියද් වැසියන් තළා පෙළූ නිසා ඔවුන්ට මම සත්තකින් ම දඬුවම් කරමි.</verse>
				<verse number="4">සිරියා රාජ්‍යය පිට මම ගින්නක් එවමි. එයින් බෙන්-හදද්ගේ බලකොටු දවා අළු කර දමමි.</verse>
				<verse number="5">දමස්කයේ වාසල් දොරටු සුණු විසුණු කොට, ආවෙන් මිටියාවතේ වැසියන් හා බෙත්-ඒදන්හි අධිපතියා ඉවත් කරන්නෙමි. සිරියාවේ ජනයා හිරකරුවන් වශයෙන් කීර් දේශයට ගෙනයනු ලබන්නෝ ය.” මේ සමිඳාණන් වහන්සේගේ වචනය වේ.</verse>
				<verse number="6">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ගාසාවේ වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් මුළු ජාතියක් ම පිටුවහල් කොට ඒදොම් ජනයාට පාවා දුන් නිසා, සත්තකින් ම ඔවුන්ට මම දඬුවම් කරමි.</verse>
				<verse number="7">මම ගාසාවේ පවුරු පිට ගින්නක් එවමි. එයින් නගරයේ බලකොටු දවා අළු කර දමමි.</verse>
				<verse number="8">අෂ්දොද් නගරයේ වැසියන් ද අෂ්කෙලොන් නගරයේ අධිපතියා ද මම නෙරපාදමා, එක්‍රොන් නගරයට පහර දෙමි. ඉතිරි වන පිලිස්තිවරුන් මිය යනු ඇත.” මේ දෙවි සමිඳාණන් වහන්සේගේ වචනය වේ.</verse>
				<verse number="9">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “තීර්හි වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් මුළු ජාතියක් ම පිටුවහල් කොට ඒදොම් ජනයාට පාවා දුන් නිසා, මම සත්තකින් ම ඔවුන්ට දඬුවම් කරමි. ඔවුන් ගිවිසගත් මිතුරු ගිවිසුම් ඔවුන් අමතක කර ඇත.</verse>
				<verse number="10">තීර්හි පවුරු පිට මම ගින්නක් එවමි. එයින් නගරයේ බලකොටු දවා අළු කර දමමි.”</verse>
				<verse number="11">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒදොම්හි වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් නිර්දය ලෙස ඔවුන්ගේ සහෝදරයන් වන ඉශ්රායෙල්වරුන්ට කඩුවෙන් පහර දුන් නිසා, මම සත්තකින් ම ඔවුන්ට දඬුවම් දෙමි. ඔවුන්ගේ ක්‍රෝධය දිළිහි දිළිහී ද උදහස පැසව පැසවා ද පැවතිණි.</verse>
				<verse number="12">එබැවින් මම තේමාන් පිට ගින්නක් එවමි. එයින් බොශ්රාහි බලකොටු දවා අළු කර දමමි.”</verse>
				<verse number="13">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “අම්මොන්හි වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් තමන්ගේ දේශ සීමාවන් පළල් කරගන්න පිණිස ගිලියද්හි ගැබිණියන් දෙපළු කර දැමූ නිසා, මම සත්තකින් ම ඔවුන්ට දඬුවම් කරමි.</verse>
				<verse number="14">රබ්බාහි පවුරුවලට මම ගිනි දල්වමි. එයින් නගරයේ බලකොටු දවා අළු කර දමමි. යුද්ධ දවසේ දී ගෝරනාඩු ඇති වේ; චණ්ඩ මාරුතයක් සේ යුද්ධය වේගයෙන් පැතිර යනු ඇත.</verse>
				<verse number="15">ඔවුන්ගේ රජු හා රාජ සෙනෙවියෝ වහල්කමට යන්නෝ ය.” මෙය සමිඳාණන් වහන්සේගේ වචනය වේ.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මෝවබ්හි වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් ඒදොම් රජුගේ ඇට කටු දවා හුණු ලබාගත් නිසා, මම සත්තකින් ම ඔවුන්ට දඬුවම් කරමි.</verse>
				<verse number="2">මම මෝවබ් දේශය පිට ගින්නක් එවා කෙරියොත්හි බලකොටු දවා අළු කර දමමි. හේවායන්ගේ ගෝරනාඩුව හා හොරණෑවල බෙරිහන්දීමත් සමඟ යුද්ධ ඝෝෂාව මැද මෝවබ් වැසියන් විනාශ වනු ඇත.</verse>
				<verse number="3">මෝවබ් රටේ අධිපතියා ද සියලු සෙනෙවියන් ද මම විනාශ කර දමමි.”</verse>
				<verse number="4">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ජුදා වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව එපා කොට, උන් වහන්සේගේ අණපණත් නොපැවැත්වූ නිසා, මම ඔවුන්ට සත්තකින් ම දඬුවම් කරමි. ඔවුන්ගේ පියවරුන් වැඳ පිදූ දෙවිවරුන්, ඔවුන් නොමඟ ගෙන ගොස් ඇත,</verse>
				<verse number="5">ඒ නිසා මම ජුදා පිට ගිනි එවා ජෙරුසලමේ බලකොටු දවා අළු කර දමමි.”</verse>
				<verse number="6">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල් වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. මම ඔවුන්ට සත්තකින් ම දඬුවම් කරමි. ඔව්හු ණය ගෙවාගන්නට බැරි නිදොස් අය මුදලටත්, දුප්පත් අසරණයන් සෙරෙප්පු දෙකක මිලයට වහල්කමටත් වික්කෝ ය.</verse>
				<verse number="7">දුබලුන් පොළොවේ ධූලි මත පාගා, අහිංසකයන් අහකට නෙරපාදමති. පියාත් පුතාත් දෙදෙන ම, එක ම දේවාල ගණිකාවන් සේවනය කර මාගේ ශුද්ධ නාමය කෙලෙසති;</verse>
				<verse number="8">හැම පූජාසනයක් පාසා ඔවුන් උකසට ගත් වස්ත්‍ර එළාගෙන ඒ මත දිගා වී සිටිති; දඩයට යටත් වූවන්ගෙන් ගත් මුද්‍රික පානය ඔව්හු තම තමන්ගේ දේවාලවල දී බොති.</verse>
				<verse number="9">“එහෙත්, කිහිරි ගස් මෙන් උස, කළුවර ගස් මෙන් ශක්තිමත් අමෝරිවරුන් ඔවුන් උදෙසා සහමුලින් ම විනාශ කරදැම්මේ මම ය.</verse>
				<verse number="10">“තවද, අමෝරිවරුන්ගේ දේශය නුඹ ම හිමි කරගන්න පිණිස මිසර දේශයෙන් මුදා ගෙනවුත් සතළිස් වසක් තිස්සේ පාළුකරය මැදින් නුඹ ගෙන ගියේ මම ය.</verse>
				<verse number="11">නුඹේ පුත්‍රයන්ගෙන් සමහරුන් දිවැසිවරයන් වශයෙන් ද නුඹේ තරුණයන්ගෙන් සමහරුන් නාසරීයයන් වශයෙන් ද මම තෝරා ගතිමි. ඉශ්රායෙල් ජනයෙනි, මා කියන මේ දේ සැබෑ නොවේ ද? මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.</verse>
				<verse number="12">“එහෙත්, නුඹලා මුද්‍රික පානය බොන්නට නාසරීයයන් පෙළඹෙව්වහු ය; ‘දිවැස් දෙසුම් නොකරන්නැ’යි දිවැසිවරුන්ට අණ කළහු ය.</verse>
				<verse number="13">ගොයම් මිටි පිරෙවූ බර කරත්තයකින් පොළොවේ මැඩෙන්නාක් මෙන් මම නුඹලා මඩින්නෙමි.</verse>
				<verse number="14">ශීඝ්‍රයෙන් දුවන්නට හැකි අයට වත් බේරෙන්න බැරි වේ; සවිශක්තිය ඇති අයගේ ශක්තිය ද නැති වේ; හේවායන්ට තමන්ගේ දිවි රැකගන්න ද නොහැකි වේ.</verse>
				<verse number="15">දුනුවායාට නොවැටී සිටින්න වත්, ශීඝ්‍රයෙන් දුවන්නන්ට ගැළවී යන්න වත්, අසරුවන්ට දිවි බේරාගන්න වත් නොහැකි වේ.</verse>
				<verse number="16">හේවායන්ගෙන් ඉතා වීරවන්ත අය වුව ද ඒ දවසේ දී නග්න ව පලා යන්නෝ ය.” මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ය.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">“ඉශ්රායෙල් ජනයෙනි, නුඹලාට විරුද්ධ ව, මිසර දේශයෙන් මා පිටතට ගෙනා නුඹලාගේ මුළු ඉශ්රායෙල් වංශයට විරුද්ධ ව සමිඳාණන් වහන්සේ වදාරන මේ වචනවලට සවන් දෙන්න:</verse>
				<verse number="2">ලොවේ සියලු වංශවලින් මා මැනවින් දැනහැඳිනගෙන ඇත්තේ නුඹ පමණකි. ඒ නිසා නුඹලා කර ඇති සියලු පාපවලට මම දඬුවම් දෙමි.”</verse>
				<verse number="3">“දෙදෙනෙක් එකට ගමනක් යත් ද එකඟ වී මිස?</verse>
				<verse number="4">සිංහයෙක් වනයේ ගෙරවුම් දෙයි ද ගොදුරක් දුටුවොත් මිස? ගුහාවක් තුළ සිංහ නාම්බෙක් ගොදුරක් නැති ව හඬ නඟයි ද?</verse>
				<verse number="5">ඇමක් නැති ව කුරුල්ලෙක් මලපතකට අසු වෙයි ද? අසු නොවී කිසිවක් ගැස්සී යයි ද උගුලක්?</verse>
				<verse number="6">යුධ සක් හඬ ඇසුණොත් නගරයේ සෙනඟ බිය නොවෙත් ද? සමිඳුන් නොපැමිණෙව් විපතක් නගරයේ ඇති වෙයි ද?</verse>
				<verse number="7">මේ රහස් එළිදරව් නොකර සිය සේවක දිවැසිවරුන් හට, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ සැබැවින් ම කිසිවක් නොකරන සේක.</verse>
				<verse number="8">සිංහයෙක් ගර්ජනා කරයි; බිය නොවී සිටිය හැක්කේ කවරෙකුට ද? මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ කතා කරන සේක; දිවැස් වැකි නොකියා සිටිය හැක්කේ කවරෙකුට ද?”</verse>
				<verse number="9">අෂ්දොද්හි ද මිසර දේශයේ ද මාලිගාවල සිටින්නන්ට මෙසේ ප්‍රකාශ කරන්න: “සමාරියේ කඳුවලට නැඟී එහි ඇති අවුල් වියවුල් ද නගරයේ කෙරෙන අපරාධ ද බලන්න.”</verse>
				<verse number="10">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මේ සෙනඟ අපරාධ ක්‍රියාවලින් ද බලහත්කාරයෙන් ද ලබාගත් දෙයින් තමන්ගේ මාලිගා පුරවාගෙන ඇත. අවංකකම ඔවුන් කොහොමට වත් දන්නේ නැත.”</verse>
				<verse number="11">එබැවින් සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සතුරු සේනාවක් ඔවුන්ගේ රට වට කොට, බලකොටු බිඳ හෙළා මාලිගා කොල්ලකන්නෝ ය.”</verse>
				<verse number="12">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරමින්, “එඬේරෙකු, සිංහයාගේ කටින් බැටළුවෙකුගේ කකුල් දෙක හෝ කනින් කෑල්ලක් හෝ ගළවාගන්නාක් මෙන් දෙවියන් වහන්සේ සමාරියේ වසන ඉශ්රායෙල් ජනයා ගළවාගන්න සේක. ගළවනු ලබන්නේ, ඇඳක ලී පතුරක් හෝ කෑල්ලක් හෝ වැනි, ඉතා ස්වල්ප දෙනෙක් පමණි.</verse>
				<verse number="13">සවන් දී, ජාකොබ්ගේ වංශයට ප්‍රවේසම් වෙන ලෙස තදින් අවවාද කරන්නැ”යි වදාළ සේක. මෙසේ වදාරන්නේ සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ ය.</verse>
				<verse number="14">“ඉශ්රායෙල් සෙනඟගේ වරද නිසා ඔවුන්ට දඬුවම් කරන දවසේ දී බෙතෙල්හි පූජාසන බිඳ හෙළන්නෙමි; පූජාසනවල අං වැනි නෙරා ඇති කොන් කපාදමා බිමට හෙළන්නෙමි;</verse>
				<verse number="15">සිසිර නිවාස හා ග්‍රීෂ්ම නිවාස සිඳබිඳ දමමි; ඇත්දත් මන්දිර වැනසී යයි; හැම මහා මන්දිරයක් ම විනාශවනු ඇතැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">සමාරිය කඳුකරේ සිටින තරබාරු එළදෙනුනි; දිළිඳුන් තළා පෙළා, අසරණයින්ට පීඩා කරන, ‘බොන්නට දෙයක් දෙන්න’ කියා සැමියන්ට අණ කරන ඔබ හැම මෙයට සවන් දෙන්න.</verse>
				<verse number="2">මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ තම ශුද්ධ නාමයෙන් මෙසේ දිවුරන සේක: “නුඹලා කොකුවලින් ඇදගෙන යනු ලබන දවස පැමිණෙනු සිකුරු ය. නුඹලාගේ හැම කෙනෙක් ම බිලි කටුවේ ඇමුණු මාලුවෙකු මෙන් වන්නෝ ය.</verse>
				<verse number="3">තාප්ප කපොලුවලින් එක එකා ඇදගනු ලැබ, කුණු කසළ ගොඩක් මත වීසි කරදමනු ඇත.” මෙය වදාරන්නේ සමිඳාණන් වහන්සේ ය.</verse>
				<verse number="4">“බෙතෙල්හි සිද්ධස්ථානයට ගොස් පව් කරනු; ගිල්ගාලයට ගොස් මුළු වීරියෙන් පව් කරනු; උදයක් උදයක් පාසා පූජාකිරීමට සතුන් ගෙනෙනු; තෙදිනකට වරක් නුඹලාගේ දසයෙන් එකේ පූජා ගෙනෙනු.</verse>
				<verse number="5">මුහුන් මුසු තුති පූජා ඔප්පුකර, ස්වේච්ඡා පූජා ගැන පුරසාරම් දොඩන්න. මන්ද, ඉශ්රායෙල් ජනයෙනි, මෙවැනි දේ කිරීමට නුඹලා බොහෝ සේ කැමැති ය”යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="6">“තවද, නුඹලාගේ සියලු නගරවල සාගින්න ද හැම තැන ම කෑම සාගතය ද ඇති කෙළේ මම ය. එහෙත්, නුඹලා මා වෙත හැරී නාවහු ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="7">“ගොයම් කැපීමට තුන් මසකට කලින්, වැස්ස ඕනෑ ම කරන දවස්වල මම එය වළක්වාලීමි. එක නුවරකට වහින්න සැලැස්සූ අතර තවත් නුවරකට වැස්ස නොදී ඇරියෙමි. එක වෙල්යායකට වැස්සේ ය, වැස්ස නොලැබූ වෙල්යාය වියළී ගියේ ය.</verse>
				<verse number="8">පිපාසයෙන් පෙළුණු නගර දෙක තුනක සෙනඟ වතුර සොයා අසල නගරයකට ගිය නමුත්, බීමට සෑහෙන තරම් වතුර නොතිබුණේ ය. එහෙත්, නුඹලා මා වෙත හැරී නාවහු ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="9">“මම ගොයම් වියළවන සුළඟක් ද එව්වෙමි; නුඹලාගේ බොහෝ වතුපිටි ද මිදි වතු ද අත්තික්කා ගස් ද ඔලීව ගස් ද පළඟැටි පණුවෝ කාදැමූ හ. එහෙත්, නුඹලා මා වෙතට හැරී නාවහු ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="10">“මා මිසර දේශයේ ඇති කළ වසංගතයට සමාන වසංගතයක් නුඹලා අතරේ ද ඇති කෙළෙමි; නුඹලාගේ තරුණයන් ද කඩුවෙන් මරාදමා, නුඹලාගේ අශ්වයන් පැහැරගෙන ගියෙමි; කඳවුරුවල දුර්ගන්ධයෙන් නුඹලාගේ නාස් පුඩු පිරෙව්වෙමි. එහෙත්, නුඹලා මා වෙත හැරී නාවහු ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="11">“දෙවියන් වහන්සේ වන මම සොදොම් සහ ගොමොරා විනාශ කරදැමුවාක් මෙන්, නුඹලා අතරෙන් සමහරෙකු විනාශ කොටදැමුවෙමි; නුඹලා ගින්නෙන් ඇදගත් ගිනි පෙනෙල්ලක් වැනි ය. එහෙත්, නුඹලා මා වෙත හැරී නාවහු ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="12">“එබැවින් ඉශ්රායෙල් ජනයෙනි, මේ දේ මම නුඹලාට කරන්නට යමි; ඒ දේ මා කරන්නට යන බැවින් දෙවියන් වහන්සේගේ විනිශ්චයට මූණපාන්නට සූදානම්වන්න.”</verse>
				<verse number="13">උන් වහන්සේ වනාහි, කඳු සාදන, සුළං මවන, සිය සිතුවිලි මිනිසා හට පාන, උදයත් රැයත් දෙක ම මවන, මුළු ලොවට ම අධිපති වන තැනැන් වහන්සේ ය. උන් වහන්සේගේ ගරු නාමය සියලු බලැති දෙවි සමිඳු ය.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">අහෝ ඉශ්රායෙල් ජනයෙනි! ඔබ හැම ගැන නඟන මාගේ මේ විලාපයට සවන් දෙන්න:</verse>
				<verse number="2">“ඉශ්රායෙල් කන්‍යාව වැටී ඇත, යළි නැඟිටීමක් ඈට නැත. පොළොව මත ඈ වැටී සිටියි. උදව් දෙන්නට කවුරුත් නැත.”</verse>
				<verse number="3">මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල්හි එක් නගරයකින් සටනට යන භටයින් දහසකින් ආපසු එන්නේ සියයකි. සියයක් යන තව නගරයකින් ආපසු එන්නේ දසදෙනෙකි.”</verse>
				<verse number="4">ඉශ්රායෙල් සෙනඟට සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මා වෙත හැරී එන්න; එසේ ඇවිත් ජීවත් වන්න.</verse>
				<verse number="5">එහෙත්, නමදින පිණිස බෙයර්-ෂෙබාවට නොයන්න; මා සොයන පිණිස බෙතෙල්ට නොයන්න. බෙතෙල් නැත්තට ම නැති වේ. ගිල්ගාලයට වත් නොයන්න. එහි සෙනඟ වහල්කමට ගෙනයනු ලබති.”</verse>
				<verse number="6">දෙවියන් වහන්සේ වෙත හැරී යන්න; ගොස් ජීවත් වන්න. නොගියොත් උන් වහන්සේ ගින්නක් මෙන් ජෝසෙප්ගේ වංශය පිට පැමිණෙන සේක. බෙතෙල්හි සෙනඟ ගින්නට දැවී යනු ඇත. එය නිවීමට හැකි කිසිවෙක් නැත.</verse>
				<verse number="7">යුක්තිය නොපිට පෙරළන, මානව අයිතිවාසිකම් වළක්වන, ඔබට වන විපතක මහත!</verse>
				<verse number="8">
					හත්දින්න ද මුවසිරස ද මවාලන, රෑ අඳුර එළිය කරන, දිවා එළිය රෑ කරන, මුහුදු දියට හඬගසා පොළොව පුරා ගලා යවන, පවුරු හා බලකොටු පිට විනාශය පමුණුවන එතුමාණන්ගේ නම සමිඳාණෝ වන සේක.
				</verse>
				<verse number="9">***</verse>
				<verse number="10">ඔබ උසාවිය මඟින් යුක්තිය ඉටු කරන්නාට වෛර වන්නහු ය; අවංක ලෙස කතා කරන්නාට පිළිකුල් කරන්නහු ය.</verse>
				<verse number="11">ඔබ දුප්පතුන් පාගාදමා, ඔවුන්ගෙන් අධික ධාන්‍ය කොටසක් බලයෙන් ගන්නහු ය. ඒ නිසා ඔබ කැපූ ගලින් තනාගත් මන්දිරවල වාසය කරන්නේ වත්, වගා කළ සරු මිදි වතුවලින් මිදියුස බොන්නේ වත් නැත.</verse>
				<verse number="12">ඔබේ පව් කොපමණ බරපතල ද කියාත්, ඔබේ අපරාධ කොපමණ බහුල ද කියාත් මම දනිමි. නුඹලා දමිටුන්ට පීඩා කරන්නහු ය; අල්ලස් ගෙන උසාවිය මඟින් යුක්තිය ඉටු කරගැනීමට දුප්පතුන්ට ඉඩ නොදෙන්නහු ය.</verse>
				<verse number="13">කාලය නපුරු බැවින් නැණැතියෝ වුව ද නිහඬ ව සිටිති.</verse>
				<verse number="14">ජීවත් වන පිණිස නපුර නොව යහපත සොයන්න. එවිට ඔබ සමඟ සිටින සේකැ යි ඔබ කියන සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ ඇත්තෙන් ම ඔබ සමඟ සිටින සේක.</verse>
				<verse number="15">නපුරට ද්වේෂ කරන්න, යහපතට ප්‍රිය කරන්න, උසාවිය මඟින් යුක්තිය ඉටු කරවන්න. සමහරවිට, සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ මේ රටේ ඉතිරි ව සිටින ජනයාට කරුණා කරනු ඇත.</verse>
				<verse number="16">සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නගරයේ හැම වීථියක හැඬීමත් වැලපීමත් ඇති වන්නේ ය; වැලපෙන පිණිස ගම්වැසියන්ටත්, කුලියට ළතෝනි කියන්නන්ටත් අඬගසනු ලැබේ.</verse>
				<verse number="17">සියලු මිදි වතුවලත් වැලපීම වන්නේ ය. මන්ද, නුඹලාට දඬුවම් කරන පිණිස මම එන්නෙමි.”</verse>
				<verse number="18">සමිඳාණන් වහන්සේගේ පැමිණීමේ දවස ආසාවෙන් බලා සිටින ඔබට වන්නට යන විපතක මහත! ඒ දවසේ ඔබට කිසි යහපතක් වෙයි ද? එය ආලෝකයේ දවසක් නොව, අන්ධකාරයේ දවසක් වන්නේ ය.</verse>
				<verse number="19">ඒ දවසේ දී සිදු වන්නේ, සිංහයෙකුගෙන් බේරී දුවන මිනිසෙකු වලසෙකුට අසුවීම වැනි දෙයකි. නැතහොත්, මිනිසෙකු තම නිවෙසට පැමිණ බිත්තියේ අත තැබූ විට සර්පයෙකු දෂ්ට කිරීම වැනි දෙයකි.</verse>
				<verse number="20">සමිඳාණන් වහන්සේගේ පැමිණීමේ දවසේ දී ඇතිවන්නේ, අන්ධකාරය මිස ආලෝකය නොවේ. එය දීප්තියක් නැති තිත්ත කළුවර දවසක් වන්නේ ය.</verse>
				<verse number="21">“නුඹලාගේ මංගල්‍යවලට මම ද්වේෂ කරමි. ඒවා මට රුස්සන්නේ නැත.</verse>
				<verse number="22">නුඹලා දවන යාග පූජා ද ආහාර පූජා ද මට ඔප්පු කරන නමුත්, මම ඒවා නොපිළිගනිමි. සහභාගිකමේ පූජා වශයෙන් මට ඔප්පු කරන පිණිස නුඹලා තර කළ සතුන් මම නොපිළිගනිමි.</verse>
				<verse number="23">නුඹලාගේ ගීත ඝෝෂාව නතර කරන්න; නුඹලාගේ වීණා නාදයට මම සවන් නොදෙමි.</verse>
				<verse number="24">යුක්තිය ගලා බහින දිය දහරක් මෙන් ද ධර්මිෂ්ඨකම නොසිඳී ගලන ගඟක් මෙන් ද පැවතිය යුතු ය.</verse>
				<verse number="25">“ඉශ්රායෙල් ජනයෙනි, නුඹලා සතළිස් අවුරුද්දක් මුළුල්ලේ පාළුකරයේ සිටිය මට පුද පූජා ඔප්පු කළහු ද? නැත.</verse>
				<verse number="26">එහෙත් නුඹලා, දැන් නුඹලා උදෙසා ම තනාගත් ‘සක්කුත්’ සහ ‘කයිවාන්’ යන ග්‍රහ දේව රූප කර තබාගෙන යන්නහු ය;</verse>
				<verse number="27">එබැවින් මම දමස්කයෙන් එපිට රටක වහල්කමට නුඹලා ගෙනයන්නෙමි”යි සියලු බලැති දෙවියන් යන නම ඇති සමිඳාණන් වහන්සේ වදාරන සේක.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">සියොන්හි සැප පහසුවෙන් කල් යවන, සමාරිය කඳුකරේ තමන් සුරක්ෂිත යයි සිතන, සෙනඟ උදව් පිණිස සොයා යන, ඉශ්රායෙල් නම් ශ්‍රේෂ්ඨ ජාතියේ සිල්වතුන් වන ඔබට වන විපතක මහත!</verse>
				<verse number="2">ගොස් කල්නේ නගරය බලන්න; එතැනින් හමාත් මහා නගරයට යන්න. ඉන්පසු පිලිස්තියේ ගාත් නගරයට යන්න. ඒවා ඔබේ රාජ්‍යන්ට වඩා යහපත් ව තිබුණා ද? නැතහොත් ඔබේ දේශයන්ට වඩා ඒවා විශාල ද?</verse>
				<verse number="3">ඔබ පිට පැමිණෙන විපත්ති දවස කල්දමන්නට ඔබ උත්සාහ කරන නමුත්, ඔබ කරන දේවල් ම සැහැසිකමට තුඩු දෙන්නේ ය.</verse>
				<verse number="4">සුඛෝපභෝගී කදිම යහන්වල හාන්සිවන, කවිච්චිවල දිගා වී සිටින්න ප්‍රිය කරන, වහු මස් හා එළු මස් කාදමන ඔබට වන විපතක මහත!</verse>
				<verse number="5">දාවිත් මෙන් ගී ගොතා වීණාවල වාදනය කරන්න ඔබ කැමැති ය.</verse>
				<verse number="6">ඔබ බඳුන් පුරා මිදිපැන් බොන්නහු ය; ඉස්තරම් තෙල් ඇඟ ගාගන්නහු ය. එහෙත්, ඉශ්රායෙල්ට වන විනාශය ගැන ශෝක නොවන්නහු ය.</verse>
				<verse number="7">එබැවින් සියල්ලන්ට කලින් වහල්කමට ගෙනයනු ලබන්නේ ඔබ ය. එවිට ඔබේ සැප ජීවිකාව හා භෝජන උත්සව කෙළවර වන්නේ ය.</verse>
				<verse number="8">සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ මෙය සිය නාමයෙන් දිවුරා මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල් සෙනඟගේ අහංකාරකම මට පෙන්නන්න බැරි ය. ඔවුන්ගේ වලව් ද මම හෙළාදකිමි. නගරය ද එහි ඇති සියල්ල ද මම සතුරාට පාවා දෙමි.”</verse>
				<verse number="9">පවුලක ඉතිරි වී ඇත්තේ දසදෙනකු පමණක් නම්, ඔවුන් සියල්ලන් ම මැරෙනු ඇත.</verse>
				<verse number="10">මළ කෙනෙකුගේ ඥාතියෙකු ආදාහනය කරන පිණිස මළකඳ ගෙනයන්නට ආ විට, ගෙයි සැඟවී සිටින කෙනෙකුට කතා කොට, ‘මළගිය තව කවුරුත් මෙහි සිටිනවා දැ’යි අසනු ඇත. එවිට, ‘නැත, නිශ්ශබ්ද වන්න, සමිඳාණන් වහන්සේගේ නාමය සඳහන් නොකරන්න අප ප්‍රවේසම් විය යුතු ය’යි ඔහු පිළිතුරු දෙන්නේ ය.</verse>
				<verse number="11">සමිඳාණන් වහන්සේ අණ කරන විට ලොකු කුඩා ගෙවල් සියල්ල සුණු විසුණු වනු ඇත.</verse>
				<verse number="12">අශ්වයන්ට පර්වත මත පැන පැන ගිය හැකි ද? ගොනුන් ලවා මුහුද සීසාන්නට පුළුවන් ද? එහෙත් ඔබ යුක්තියට විස පොවා, ඇත්ත නැත්ත කර ඇත.</verse>
				<verse number="13">මොන කැකිරි ගෙඩියක් ගැන ඔබ ජය ඝෝෂා කරන්නහු ද? “අප ජයගත්තේ අපේ ම බලයෙන් නොවේ දැ”යි ඔබ කියන්නහු ය.</verse>
				<verse number="14">එහෙත්, සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දෙන සේක: “ඉශ්රායෙල් ජනයෙනි, නුඹලාට විරුද්ධ ව මම ජාතියක් එවන්නෙමි. උතුරේ ඇති හමාත්ට ඇතුළු වන දුර්ගයේ සිට, දකුණෝ ඇති මළ මුහුද දක්වා ඒ ජාතිය නුඹලාට පීඩා කරනු ඇත.”</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">මහෝත්තම දෙවි ස්වාමීන් වන දෙවියන් වහන්සේ මට දර්ශනයක් දැක්වූ සේක. උන් වහන්සේ පළඟැටියන් කන්දරාවක් ඇතිවන්න සලස්වනු මම දිටිමි. එසේ කෙළේ, රජ්ජුරුවන්ට හිමි ගොයම කැපූ පසු, යල් කන්නය වැවෙන්න පටන්ගත් විට ය.</verse>
				<verse number="2">ඒ පළඟැටියන් දේශයේ ඇතිතාක් සියලු පලා වර්ග කාදමනු මම දිටිමි. එවිට මම, “මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබේ සෙනඟට කමා වුව මැනව; සෙනඟ ජීවත් වන්නේ කොහොම ද? ඔව්හු සුළු සෙනඟකි”යි යැදීමි.</verse>
				<verse number="3">සමිඳාණන් වහන්සේ සිය අරමුණ වෙනස් කොට, “නුඹ දුටු දේ සිදු නොවන්නේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="4">දෙවි සමිඳාණන් වහන්සේ මට මේ දර්ශනය දැක්වූ සේක: උන් වහන්සේ ගින්නකින් සෙනඟට දඬුවම් කරන්න සූදානම් වන බව මම දිටිමි. ඒ ගින්න ජල පොළොව දවා, ගොඩබිම ද දවන්න පටන්ගත්තේ ය.</verse>
				<verse number="5">එවිට මම, “මහෝත්තම දෙවි ස්වාමීනි, නතර කළ මැනව; සෙනඟ ජීවත් වන්නේ කොහොම ද? ඔව්හු සුළු සෙනඟකි”යි යැදීමි.</verse>
				<verse number="6">සමිඳාණන් වහන්සේ සිය අරමුණ වෙනස් කොට, “මෙයත් සිදු නොවන්නේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="7">දෙවි සමිඳාණන් වහන්සේ මට මේ දර්ශනය දැක්වූ සේක. ලඹ ලණුව අල්ලා සෑදූ පවුරක් අසල උන් වහන්සේ තම අතේ ලඹ ලණුවක් ඇති ව සිටිනු මම දිටිමි.</verse>
				<verse number="8">“ආමොස්, නුඹට පෙනෙන්නේ කුමක් දැ”යි උන් වහන්සේ මාගෙන් ඇසූ සේක. “ලඹ ලණුවකැ”යි මම පිළිතුරු දිනිමි. එකල උන් වහන්සේ, “මාගේ සෙනඟගේ ඇදකුද කෙතරම් ද කියා, මේ ලඹ ලණුව ඇල්ලීමෙන් මම නුඹට පෙන්වමි. ඔවුන්ට දඬුවම් කිරීමට ඇති මාගේ අදහස මම වෙනස් නොකරමි.</verse>
				<verse number="9">ඊසාක්ගේ දරු පරම්පරාව නමස්කාර කරන ගිරිකුළු දේවාල විනාශ වන්නේ ය. ඉශ්රායෙල්හි සිද්ධස්ථාන වැනසෙන්නේ ය. ජෙරොබෝවම් රජුගේ වංශයට විරුද්ධ ව මම යුද්ධයක් හටගන්වන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="10">බෙතෙල්හි පූජක තැන වූ අමසියා ඉශ්රායෙල්හි රජ වූ ජෙරොබෝවම්ට මෙසේ දන්වා යැවී ය: “ආමොස් ඔබට විරුද්ධ ව, ඉශ්රායෙල් ජනයා අතරේ කුමන්ත්‍රණයක් කර තිබේ. ඔහු ප්‍රකාශ කරන දේ නිසා රට විනාශ වන්නේ ය.</verse>
				<verse number="11">‘ජෙරොබෝවම් රජ යුද්ධයේ දී මිය යන්නේ ය’ කියා ද ‘ඉශ්රායෙල් සෙනඟ වහල්කමට ගෙනයනු ලබන්නේ ය’ කියා ද ඔහු ප්‍රකාශ කරයි.”</verse>
				<verse number="12">අමසියා ආමොස් අමතා, “දිවැස් කියන්නා මෙතැනින් යන්න, ජුදා රටට ගොස් එහි ඔබේ ජීවිකාව කරගන්න, එහි ඔබේ දිවැස් දෙසුම් කරන්න.</verse>
				<verse number="13">මින්පසු දිවැස් දෙසුම් බෙතෙල්හි නොකරන්න. මෙය රජතුමා නමස්කාර කරන ස්ථානය ය; මෙය ජාතික සිද්ධස්ථානය ය”යි කීවේ ය.</verse>
				<verse number="14">එයට ආමොස් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “මම රැකියාව වශයෙන් දිවැස් වැකි කියන දිවැසිවරයෙක් නොවෙමි; මම ගොපල්ලෙක්මි; අත්තික්කා වගා කරන්නෙක්මි.</verse>
				<verse number="15">එහෙත්, සමිඳාණන් වහන්සේ එඬේර රැකියාවෙන් පිටත මා කැඳවා, ‘නුඹ ගොස් මාගේ ඉශ්රායෙල් සෙනඟට දිවැස් වැකි දෙසන්නැ’යි මට නියම කළ සේක.</verse>
				<verse number="16">එබැවින් සමිඳාණන් වහන්සේ වදාරන දේට සවන් දෙන්න. ඉශ්රායෙල් සෙනඟට විරුද්ධ ව දිවැස් වැකි කියන්නට වත්, ඊසාක්ගේ දරු පරම්පරාවට විරුද්ධ ව වචනයක් කියන්නට වත් එපා යයි ඔබ කියන්නෙහි ය.</verse>
				<verse number="17">ඔබ එසේ කියන බැවින් සමිඳාණන් වහන්සේ ඔබට මෙසේ වදාරන සේක: ‘නුඹේ භාර්යාව නගරයේ වෙසඟනක් වන්නී ය; නුඹේ දූ දරුවෝ යුද්ධයේ මිය යන්නෝ ය; නුඹේ රට මැන බෙදා අන්‍යයන්ට දෙනු ලබන්නේ ය. නුඹ ද මිසදිටු රටක මිය යන්නෙහි ය. ඉශ්රායෙල් සෙනඟ මවු බිමින් පිටුවහල් කරනු ලබන්නෝ ය.’ “</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මේ දර්ශනය මට දැක්වූ සේක. මම පැසුණු පලතුරු ඇති කූඩයක් දිටිමි.</verse>
				<verse number="2">එවිට සමිඳාණන් වහන්සේ, “ආමොස්, නුඹ කුමක් දකින්නෙහි දැ”යි ඇසූ සේක. “පැසුණු පලතුරු ඇති කූඩයකැ”යි මම පිළිතුරු දුනිමි. එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් සෙනඟගේ විනාශය පඩිසන් දෙන කාලය දැන් පැසී ඇත. ඔවුන්ට දඬුවම් කිරීමට ඇති මාගේ අදහස් මම වෙනස් නොකරමි.</verse>
				<verse number="3">ඒ දවසේ දී මාලිගාවේ ගී ගායනා දුක් ගාවිනා බවට හැරේ, සෑම තැන ම මළකඳන් දක්නට ලැබේ. කිසි තැනක ශබ්දයක් ඇසෙන්නට නැත.”</verse>
				<verse number="4">දිළිඳුන් පාගාදමා, අසරණයන්ට පීඩා කරන, ඔබ මෙයට සවන් දෙන්න.</verse>
				<verse number="5">ඔබ ම මෙසේ කියන්නහු ය: “අපේ ධාන්‍ය විකුණන පිණිස මාස පෝය ගෙවෙන්නේ කොයි වේලේ ද? ධාන්‍යාගාර අරින පිණිස සබත් දවස ගෙවෙන්නේ කොයි වේලේ ද? එතකොට අපට වැඩි මිලට බඩු විකිණිය හැකි ය; හොර කෝදුවෙන් මැන දිය හැකි ය; ගනු දෙනු කරන්නන් රවටන හොර තරාදි පාවිච්චි කළ හැකි ය;</verse>
				<verse number="6">අපට දුප්පතා සල්ලිවලට ද දුගියා සෙරෙප්පු දෙකක මිලයට ද ගත හැකි ය; එවිට බොල් වී හොඳ ගණනකට විකිණිය හැකි ය.”</verse>
				<verse number="7">ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ සිය නාමයෙන් දිවුරා මෙය වදාළ සේක: “ඔවුන්ගේ නපුරු ක්‍රියා කිසි කලෙක මම අමතක නොකරමි.</verse>
				<verse number="8">එබැවින් පොළොව දෙදරන්නේ ය; රටවැසි සියල්ලෝ වැලපෙන්නෝ ය. මුළු රට ම නයිල් ගඟ මෙන් නැඟී, දෙගොඩ තලා, බැස යනවා ඇත.</verse>
				<verse number="9">ඒ දවසේ දී, මද්දහන වේලාවේ ඉර බසින්නට සලස්වන්නෙමි; මහා දවාලේ පොළොව අන්ධකාරවන්ට සලස්වන්නෙමි. මේ වචන වදාළේ දෙවි ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="10">නුඹලාගේ සුබ මංගල්‍යයන් අවමංගල්‍යන් කරන්නෙමි; නුඹලාගේ තුති ගී ළතෝනි බවට හරවන්නෙමි. නුඹලාගේ බඳ වටා ගෝණි හඳවා හිස් මුඩු කරන්නෙමි. එක ම පුතාගේ මරණය නිසා වැලපෙන දෙමවුපියන් මෙන් නුඹලා වැලපෙන්නහු ය. ඒ දවස කෙළවර දක්වා තිත්ත ම තිත්ත වන්නේ ය.</verse>
				<verse number="11">“දේශය මුළුල්ලේ මහා සාගතයන් එවන කාලය ළං වන්නේ ය. ඒ සාගින්න කෑම සඳහා නොවේ; පිපාසය වතුර සඳහා නොවේ. එය සමිඳාණන් වහන්සේගේ වචනය ඇසීමට ඇති වන සාපිපාසය වේ. මෙසේ කියන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වන මම ය.</verse>
				<verse number="12">එවිට සෙනඟ සමිඳාණන් වහන්සේගේ වචනය සොයමින් උතුරේ සිට දකුණට ද නැගෙනහිර සිට බස්නාහිරට ද ඔබමොබ දුවනවා ඇත. එහෙත්, එය ඔවුන්ට සම්බ වන්නේ නැත.</verse>
				<verse number="13">ඒ දවසේ දී රූමත් තරුණියෝ ද ශක්තිමත් තරුණයෝ ද පිපාසයෙන් ක්ලාන්ත වී වැටෙන්නෝ ය.</verse>
				<verse number="14">‘දාන්හි ජීවමාන දෙවියන්ගේ නාමයෙන්’ කියා ද ‘බෙයර්-ෂෙබාහි ජීවමාන දෙවියන්ගේ නාමයෙන්’ කියා ද සමාරියේ දෙවිවරුන් නමින් ද දිවුරන සියලු දෙන නැවත නැඟිටින්නට නොහැකි වන ලෙස වැටෙන්නෝ ය.”</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">සමිඳාණන් වහන්සේ පූජාසනය ළඟ සිටිනු මම දිටිමි. උන් වහන්සේ මෙසේ අණ කළ සේක: “උළුවහු සෙලවෙන හැටියට සිද්ධස්ථානයේ පේකඩවලට පහර දී, ඒවා බිඳදමා, ඔවුන් සියල්ලන්ගේ හිස් පිට කඩා වැටෙන්න සලස්වන්න. ඉතිරි වන සියලු දෙනා මම යුද්ධයේ දී මරාදමමි. එක මිනිහෙක් වත් ඉතුරු නොකරමි. එක් කෙනෙක් වත් බේරෙන්නේ නැත.</verse>
				<verse number="2">ඔවුන් පොළොව හාරා මළවුන්ගේ ලෝකයට ගියත්, මම ඔවුන් අල්ලාගනිමි. ඔවුන් සගලොව නැඟී ගියත්, එතැනින් මම ඔවුන් පහතට හෙළමි.</verse>
				<verse number="3">ඔවුන් කර්මෙල් කන්ද මුදුනෙහි සැඟවී සිටියත්, මම ඔවුන් සොයාගෙන අල්ලාගනිමි. ඔවුන් මට නොපෙනී මුහුදු පත්ලෙහි සැඟවුණත්, එහි දී ඔවුන් දෂ්ට කරන පිණිස මුහුදු සර්පයාට මම අණ කරමි.</verse>
				<verse number="4">ඔවුන්ගේ සතුරන් ඔවුන් වහල්කමට ගෙන ගියොත්, ඔවුන් කඩුවෙන් මරන ලෙස මම අණ කරමි. ඔවුන්ට පිහිටවන්නට නොව ඔවුන් විනාශ කරන්න මම අධිෂ්ඨාන කරගෙන සිටිමි.</verse>
				<verse number="5">“සව් බලැති දෙවි සමිඳු, අතගසන විට දෙරණට, දෙරණ සැලෙනු ඇත, සව් ලෝ සත වැලපෙනු ඇත. මිසරයේ ගඟ වන නයිල් නදිය විලසින නඟියි, බසියි මුළු දෙරණ.</verse>
				<verse number="6">සගලොව සිය විමන ද නර ලොව උඩින් අහස් වියන ද මවන්නේ සමිඳාණෝ ය. මුහුදේ ජලයට හඬගසා පොළොවේ වගුරුවා යවන සේක. එතුමන්ගේ නාමය සමිඳාණෝ ය.”</verse>
				<verse number="7">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල් ජනයෙනි, මා නුඹලාත්, එතියෝපිවරුනුත් සලකන්නේ එක හා සමාන ව ය. මා නුඹලා මිසර දේශයෙන් ගෙනා සේ ම, පිලිස්තිවරුන් ක්‍රීතයේ සිට ද සිරියන්වරුන් තීර්හි සිට ද මම ගෙනාවෙමි.</verse>
				<verse number="8">මේ පාපිෂ්ඨ රාජ්‍යය දෙස මම බල බලා සිටිමි. මම ඒ රාජ්‍යය මිහි පිටින් විනාශ කර දමමි. එහෙත්, ඒ ඉශ්රායෙල් සෙනඟ මම සහමුලින් ම විනාශ නොකරමි.</verse>
				<verse number="9">“වැදගැම්මකට නැති අය වෙන් කරන පිණිස, පෙනේරෙන් ධාන්‍ය හලන්නා සේ මම ඉශ්රායෙල් සෙනඟ ජාතීන් අතරේ ඒ මේ අත හැලීමට අණ කරන්නෙමි.</verse>
				<verse number="10">‘දෙවියන් වහන්සේ අපට කිසි හානියක් නොකරන සේකැ’යි කියන සෙනඟ අතරේ පව්කාරයන් වන සියල්ලන් මම කඩුවෙන් විනාශ කර දමමි.”</verse>
				<verse number="11">“ඒ දවසේ දී, ගරාවැටුණු ගෙයක් වැනි දාවිත් රජුගේ වංශය මම යළි පුනරුත්ථාපනය කරන්නෙමි. එහි බිත්තිවල ඇති කපොලු අහුරා, නටබුන් ප්‍රතිසංස්කරණය කර පෙර තිබුණු තත්ත්වයට පමුණුවන්නෙමි.</verse>
				<verse number="12">එවිට ඉශ්රායෙල් ජනයා, ඒදොම් රටේ ඉතිරි අය ද, මට හිමි ව තිබුණු ජාතීන් ද අයිති කර ගන්නෝ ය.” මෙසේ වදාරන්නේ, මෙය ඉටුවන්නට සලස්වන සමිඳාණන් වහන්සේ ය.</verse>
				<verse number="13">තවද සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සීසා ඉවර වූ වහා ම අස්වැන්න ඇති වේ. බීජ වැපුරූ වහා ම මිදි මිරිකීම ඇති වේ. කඳුවලින් මිහිරි මිදිපැන් වෑස්සේ, සියලු හෙල්වලින් මිදිපැන් ගලා යේ.</verse>
				<verse number="14">මාගේ සෙනඟ යළි සිය රටට ගෙනෙමි, ඔව්හු නටබුන් නගර යළි ගොඩනඟා එහි ජීවත් වන්නෝ ය. ඔව්හු මිදි වතු වවා මිදියුස බොන්නෝ ය. ඔව්හු වතු ද වවා එහි පල කන්නෝ ය.</verse>
				<verse number="15">මා ඔවුන්ට දුන් දේශයෙහි මම ඔවුන් පිහිටුවන්නෙමි. කිසි කලෙක නැවත ඔව්හු එයින් උදුරනු නොලබන්නෝ ය.” නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක.</verse>
			</chapter>
		</book>
		<book number="31">
			<chapter number="1">
				<verse number="1">දිවැසිවර ඔබදියාගේ දර්ශනය මෙය වේ. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ඒදොම් ගැන මෙසේ වදාරන සේක: “ඉදිරියට එන්න; අපි ඒදොම්ට විරුද්ධ ව යුද්ධයට යමු”යි කියන පිණිස ජාතීන් අතරට පණිවුඩකාරයෙක් යවනු ලැබී ය. මම මේ ආරංචිය සමිඳාණන් වහන්සේගෙන් ලදිමි.</verse>
				<verse number="2">“මම නුඹ ජාතීන් අතර ඉතා සුළු කරන්නෙමි. නුඹ අධික ලෙස ද්වේෂ කරනු ලබන්නෙහි ය.</verse>
				<verse number="3">ගල් ගුහාවල ජීවත් වන, උස් තැන්හි වාසය කරන, මා බිම හෙළිය හැක්කේ කවරෙකුට දැ යි කියාගන්න නුඹ, සිතේ අහංකාරය නිසා රැවටී සිටින්නෙහි ය.</verse>
				<verse number="4">නුඹ, රාජාලියෙකු මෙන් ඉහළට පියාඹා, නුඹේ කැදැල්ල තාරකා අතරේ පිහිටුවා ගත්තත් එතැනින් වුව ද මම නුඹ පහතට හෙළාදමන්නෙමි”යි පවසන්නේ, සමිඳාණන් වහන්සේ වන මම ය.</verse>
				<verse number="5">“රාත්‍රියේ සොරු වත්, කොල්ලකාරයෝ වත් නුඹ වෙත පැමිණියෝ නම්, ඔවුන්ගේ සිතේ හැටියට සොරා නොගනිත් ද? මිදි පල නෙළන්නෝ නුඹ වෙත පැමිණියෝ නම්, මිදි පල සමහරක් වත් ඉතිරි නොකරත් ද? එහෙත්, අහෝ! ඔවුන් නුඹ විනාශ කර දමා තිබෙන හැටි!</verse>
				<verse number="6">අනේ! ඒසව්; ඔවුන් නුඹේ වස්තුව සොයාගෙන තිබෙන හැටි! ඒ සඟවන ලද වස්තුව පැහැරගෙන ගොස් ඇති හැටි!</verse>
				<verse number="7">නුඹ සමඟ ගිවිසුම් කරගත් අය නුඹ රවටා, දේශ සීමාව දක්වා නුඹ පන්නාදමා ඇත. නුඹ සමඟ සාමදානයෙන් සිටි අය දැන් නුඹ පරාජය කර ඇත. නුඹේ හිත-මිතුරන් නුඹට උගුල් අටවා, ‘ඔහුට ඒ ගැන තේරුමක් නැතැ’යි කියනු ඇත.”</verse>
				<verse number="8">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ කාලයේ දී මම ඒදොමෙන් පැණවතුන් ද ඒසව්ගේ කඳුකරයෙන් ඥානය ද නැති නොකරම් ද?</verse>
				<verse number="9">ඒසව්ගේ කඳුකරයේ සටන් කරන හැම දෙනා ම මරාදමන තුරු, එම්බා තේමාන්! නුඹේ රණ ශූරයන් භීතියෙන් ත්‍රස්ත වනු ඇත.”</verse>
				<verse number="10">“නුඹ තම සහෝදර ජාකොබ් ඝාතනය කළ නිසා, නුඹ නින්දා කරනු ලැබ සදහට ම විනාශ කරනු ලබන්නෙහි ය.</verse>
				<verse number="11">නුඹ නිකම් බලාගෙන සිටි දවසේ දී ද විදේශීන් ඔහුගේ වස්තුව පැහැරගෙන ගිය දවසේ දී ද පරදේශීන් ජෙරුසලම් දොරටු කඩාදමා, දාදු දමා ජෙරුසලම බෙදාගත් දවසේ දී ද නුඹත් ඔවුන්ගෙන් එක් කෙනෙකු මෙන් වූවෙහි ය.</verse>
				<verse number="12">නුඹේ සහෝදරයාට පැමිණි විපත්ති ගැන නුඹ ප්‍රීති වීම නොහොබනේ ය. ජුදා වැසියන් විපතට පත් වූ දවසේ දී නුඹ සතුටු වීම හරි නැත. ඔවුන් දුක් විඳින අතර නුඹ ඔවුන්ට උඩඟුකමෙන් සරදම් කිරීම වැරදි ය.</verse>
				<verse number="13">මාගේ සෙනඟ විපතට පත් වන දවසේ දී ඔවුන්ගේ නගරයට ඇතුල් නොවන්න. ඔවුන් විපතට පත් වන දවසේ දී, ඔවුන්ගේ දුක දැක ප්‍රීති නොවන්න. ඔවුන් විපතට පත් වන දවසේ දී ඔවුන්ගේ ධනයට අත වත් නොතබන්න.</verse>
				<verse number="14">ඔවුන්ගෙන් පලා යන්නන් සිඳ දැමීමට නුඹ මංසන්ධිවල රැක නොසිටින්න. ඔවුන්ගේ විපත්ති දවසේ දී ඉතිරි අය පාවා නොදෙන්න.”</verse>
				<verse number="15">“සියලු ජාතීන්ට විරුද්ධ ව එන සමිඳාණන් වහන්සේගේ දවස ළං වී තිබේ. නුඹ කර තිබෙන හැටියට ම නුඹටත් කරනු ලැබේ. නුඹ අනුන්ට කළ දේ නුඹටත් පල දේ.</verse>
				<verse number="16">මාගේ ශුද්ධ කන්දෙහි නුඹ මධු පානය කළාක්මෙන් සියලු විජාතීන් නොනවතා මධු පානය කරනු ඇත. ඔවුන් හොඳට ම බී, වෙරිමත් වී නැත්තට ම නැතිවනු ඇත.”</verse>
				<verse number="17">“කෙසේ වෙතත්, සියොන් කන්දේ සිටින සමහර දෙනෙකු බේරෙනු ඇත. එය ශුද්ධස්ථානයක් වන්නේ ය. ජාකොබ්ගේ වංශය තමන්ගේ උරුමය වන දේශය අයිති කරගන්නේ ය.</verse>
				<verse number="18">ජාකොබ්ගේ වංශය ගින්නක් මෙන් ද ජෝසෙප්ගේ වංශය ගිනි දැල්ලක් මෙන් ද ඒසව්ගේ වංශය ඉපනැලි මෙන් ද වන්නෝ ය. ඒසව්ගෙන් පැවැත එන කිසිවෙකු ඉතිරි නොවන ලෙස ඔව්හු දැවී ගිනිබත් වන්නෝ ය.” මෙසේ වදාළේ සමිඳාණන් වහන්සේ ය.</verse>
				<verse number="19">“නෙගෙබ්හි සිටින අය ඒසව් කන්ද අයිති කරගන්නෝ ය. පහත රටේ අය පිලිස්තිවරුන්ගේ දේශය යටත් කරගන්නෝ ය. ඔව්හු එප්‍රායිම් හා සමාරියේ ගම්බිම් ද බෙන්ජමින්වරු ගිලියද් දේශය ද හිමි කරගන්නෝ ය.</verse>
				<verse number="20">ඉශ්රායෙල් ජනයා අතරේ වහල්කමට ගෙනයනු ලැබූ අය වූ හමුදාව ශාරෙපත් දක්වා ම කානාන් දේශය හිමි කරගන්නෝ ය. සෙපාරද්හි වහල්කමට ගෙනයනු ලැබූ ජෙරුසලමේ අය නෙගෙබ් නුවරවල් ද හිමි කරගන්නෝ ය.</verse>
				<verse number="21">ඒසව් කන්ද පාලනය කරන පිණිස ජයග්‍රාහික ව ඔව්හු සියොන් කන්දට නඟින්නෝ ය. රාජ්‍යය ද සමිඳාණන් වහන්සේගේ වන්නේ ය.”</verse>
			</chapter>
		</book>
		<book number="32">
			<chapter number="1">
				<verse number="1">සමිඳාණන් වහන්සේගෙන් අමිත්තයිගේ පුත් ජෝනාට පැමිණි පණිවුඩය මෙසේ ය:</verse>
				<verse number="2">“නැඟිට නිනිවය නම් ශ්‍රේෂ්ඨ නගරයට ගොස් ඊට විරුද්ධ ව මොරගසන්න; මන්ද, එහි වැසියන්ගේ දුෂ්ටකම මට ඉතා හොඳින් පෙනේ.”</verse>
				<verse number="3">එහෙත්, ජෝනා සමිඳාණන් වහන්සේ මඟ හැර පලා යන පිණිස තර්ෂිෂ්ට යන්නට පිටත් විය. ඒ සඳහා ඔහු ජොප්පාවට ගියේ ය. එහි දී ඔහුට තර්ෂිෂ්ට යන නැවක් හමු වී, ඊට ගාස්තුව ගෙවා සමිඳාණන් වහන්සේ වෙතින් පලා යන පිණිස තර්ෂිෂ් බලා යන නැවකට නැඟුණේ ය.</verse>
				<verse number="4">එහෙත්, සමිඳාණන් වහන්සේ මුහුද පිට තද සුළඟක් හමන්න සැලැසූ සේක. එයින් මුහුදේ මහා කුණාටුවක් ඇති වී නැව බිඳෙන්නට විය.</verse>
				<verse number="5">එවිට නාවිකයෝ බිය වී, එක එකා තම තමාගේ දෙවියන්ට මොරගැසුවෝ ය. ඔව්හු නැව සැහැල්ලු කරගන්න පිණිස එහි තිබුණු බඩු මුහුදට වීසි කළෝ ය. එහෙත්, ජෝනා නැවේ පහත තට්ටුවට බැස ගොස් බර නින්දකට වැටී හුන්නේ ය.</verse>
				<verse number="6">එවිට නැව්පතියා ඔහු ළඟට අවුත්, “ඔබ හොඳට ම නිදාගෙන සිටීමේ තේරුම කුමක් ද? නැඟිට ඔබේ දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්න. සමහර විට උන් වහන්සේ අප විනාශ නොවන ලෙස අප ගැන සලකනු ඇතැ”යි කී ය.</verse>
				<verse number="7">එකල නාවික පිරිස තම තමන් අතරේ කතා කරගනිමින්, “මේ විපත්තිය අපට පැමිණියේ කවරෙකු නිසා දැ යි දැනගන්න පිණිස පස ඇට දමමු”යි කී හ. ඒ අනුව ඔව්හු පස ඇට දැමූ හ. පස ඇටය ජෝනාට වැටිණි.</verse>
				<verse number="8">එවිට ඔව්හු ජෝනාගෙන් ප්‍රශ්න කරමින්, “අපට පැමිණි මේ වින්නැහියට වගකිව යුත්තේ කවරෙක් ද? ඔබේ රැකියාව කුමක් ද? ඔබ කොහේ සිට ආවෙහි ද? ඔබේ රට කුමක් ද? ඔබේ ජාතිය කුමක් දැ”යි ඇසූ හ.</verse>
				<verse number="9">ඔහු පිළිතුරු දෙමින්, “මම හෙබ්‍රෙව් ජාතිකයෙක්මි. මම මුහුදත්, ගොඩබිමත් මැවූ ස්වර්ගයේ දෙවි සමිඳාණන් වහන්සේ අදහමි”යි කී ය.</verse>
				<verse number="10">ඔහු සමිඳාණන් වහන්සේ වෙතින් පලා යන බව ඔවුන් දැනගෙන සිටි නිසා ඔව්හු ඉතා බියපත් වී, “ඔබ කළ මේ හදිය කුමක් දැ”යි ඇසූ හ.</verse>
				<verse number="11">කුණාටුව වඩ වඩාත් වේගවත් වූ බැවින්, “මුහුද නිශ්චල වන පිණිස අප ඔබට කුමක් කළ යුතු දැ”යි ඔව්හු ඔහුගෙන් ඇසූ හ.</verse>
				<verse number="12">“මා රැගෙන මුහුදට බිලි දෙන්න. එවිට මුහුද නිශ්චල වනු ඇත. මේ මහ කුණාටුව ඇති වී තිබෙන්නේ මා නිසා බව මම දනිමි”යි ඔහු ඔවුන්ට කීවේ ය.</verse>
				<verse number="13">කෙසේ වෙතත්, නාවික පිරිස වෙරළට පැමිණෙන පිණිස වඩාත් වීර්යයෙන් නැව පැදවූ හ. එහෙත්, මුහුද වඩ වඩා සැරෙන් ඔවුන්ට විරුද්ධ ව නැඟී ආ බැවින් ඔවුන්ට එසේ කරන්නට බැරි විය.</verse>
				<verse number="14">එවිට ඔව්හු සමිඳාණන් වහන්සේට හඬ ගසා, “අහෝ සමිඳුනි, මේ මිනිසාගේ ප්‍රාණය නිසා අප පිට විනාශයක් නො වේ වා! නිදොස් කෙනෙකුගේ මරණයට අපි වගකිව යුත්තෝ නොවෙම් වා! මන්ද, සමිඳුනි, ඔබේ කැමැත්ත පරිදි ඔබ ක්‍රියා කළ සේකැ”යි කී හ.</verse>
				<verse number="15">ඉන්පසු ඔව්හු ජෝනා මුහුදට බිලි දුන්හ. එවිට මුහුදේ කැළඹීම නැවතිණි.</verse>
				<verse number="16">මේ හේතුවෙන් නාවික පිරිස සමිඳාණන් වහන්සේ කෙරෙහි අතිශයින් බියපත් වී, උන් වහන්සේට පූජාවක් ඔප්පු කර බාරහාර පිදූ හ.</verse>
				<verse number="17">සමිඳාණන් වහන්සේ ද ජෝනා ගිලගන්න පිණිස මහා මත්ස්‍යයෙකු සූදානම් කළ සේක. ඒ මත්ස්‍යයාගේ කුස තුළ ජෝනා දාවල් තුනක් ද රෑ තුනක් ද සිටියේ ය.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">ජෝනා මත්ස්‍යයාගේ කුසයේ සිට තම දෙවි සමිඳාණන් වහන්සේට මෙසේ යාච්ඤා කෙළේ ය.</verse>
				<verse number="2">“මාගේ පීඩාවේ දී සමිඳුන්ට හඬගැසීමි, එතුමාණෝ මට පිළිතුරු දුන් සේක. පාතාල ගැබේ සිට කෑගැසීමි, ඔබ මාගේ හඬ ඇසූ සේක.</verse>
				<verse number="3">ඔබ මුහුද මැද ගැඹුරට මා හෙළූ සේක. ජලධාරාවෝ මා සිසාරා සිටගත්හ. තරංග හා ජලකඳ සියල්ල මට උඩින් ගලා ගියේ ය.</verse>
				<verse number="4">එවිට මම මෙසේ කීමි: ‘ඔබ ඇස් හමුයෙන් මම පහකරනු ලැබීමි. එබැවින් ඔබේ ශුද්ධ මාලිගාව දෙස නැවත බලන්නේ කෙසේ ද?’</verse>
				<verse number="5">ජලය මා ගෙල දක්වා නැඟ ආවේ ය. මුහුද මා වට කරගත්තේ ය. මුහුදු පැළෑටි මාගේ හිස වටේ එතුණේ ය.</verse>
				<verse number="6">මම කඳු පත්ලට බැස ගියෙමි; සදහට ම අගුල්වලින් මා හිර කර තබන ලොවකට බැස ගියෙමි. අහෝ! මාගේ දෙවි සමිඳුනි, එහෙත්, ඔබ මාගේ ප්‍රාණය පාතාලයෙන් ගොඩගත් සේක.</verse>
				<verse number="7">මාගේ පණ කෙන්ද මැලවී යද්දී, මම සමිඳුන් සිහි කෙළෙමි. මාගේ අයැදුම ඔබ වෙත නැඟුණේ ය; ඔබේ ශුද්ධ මාලිගාවට පැමිණියේ ය.</verse>
				<verse number="8">බොරු දෙවිවරුන් නමදින්නෝ ඔබට ඇති පක්ෂපාතකම පැහැර හරිති.</verse>
				<verse number="9">එහෙත්, මම තුති මුවින් පූජා ඔප්පු කරන්නෙමි. බාර වූ දේ ගෙවන්නෙමි. ගැළවීම සමිඳුන්ගෙන් ය.”</verse>
				<verse number="10">සමිඳාණෝ මත්ස්‍යයාට කතා කළ සේක. එවිට ඌ ජෝනා ගොඩබිමට වැමෑරී ය.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">සමිඳාණන් වහන්සේගේ පණිවුඩය දෙ වන වරට ජෝනා වෙත පැමිණියේ ය.</verse>
				<verse number="2">“නුඹ නැඟිට නිනිවය නම් ශ්‍රේෂ්ඨ නගරයට ගොස් මා නුඹට කියන පණිවුඩය එහි ප්‍රකාශ කරන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.</verse>
				<verse number="3">එවිට ජෝනා නැඟිට සමිඳාණන් වහන්සේ නියම කළ පරිදි නිනිවයට ගියේ ය. නිනිවය ඉතා විශාල නගරයකි. එය හරහා යාමට දවස් තුනක් ගත වේ.</verse>
				<verse number="4">ජෝනා නගරයට ඇතුළු වී එක දවසක් ගමන් කර, “තව දින සතළිසකින් නිනිවය වැනසෙනු ඇතැ”යි මොරගසා ප්‍රකාශ කෙළේ ය.</verse>
				<verse number="5">නිනිවයේ වැසියෝ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කර, උපවාසයක් නියම කොට, ලොකු අය පටන් කුඩා අය දක්වා දළ රෙදි හැඳගත්තෝ ය.</verse>
				<verse number="6">ඒ ආරංචිය නිනිවයේ රජු වෙත පැමිණි විට, ඔහු සිංහාසනයෙන් බැස, තම සළුව ඉවත ලා දළ රෙදි පොරවාගෙන අළු පිට හිඳගත්තේ ය.</verse>
				<verse number="7">එවිට ඔහු නිනිවය පුරා නියෝගයක් පළ කෙළේ ය. ඒ මෙසේ ය: “මාගේ සහ මාගේ උත්තමයන්ගේ නියෝගය පරිදි, මිනිසෙක් වත්, මෘගයෙක් වත්, ගවයෙක් වත්, බැටළුවෙක් වත් කිසි ම දෙයක රස නොබලා වා! කිසි කෑමක් නොකා වා! වතුර නොබෝ වා!</verse>
				<verse number="8">මනුෂ්‍යයෝ ද මෘගයෝ ද දළ රෙදි පොරවාගෙන දෙවියන් වහන්සේට බලවත් සේ මොරගසත් වා! ඔව්හු එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් ද තමන්ට ඇබ්බැහි දාමරිකකම්වලින් ද හැරෙත් වා!</verse>
				<verse number="9">අප විනාශ නොවන පිණිස සමහර විට දෙවියන් වහන්සේ හැරී තමන් සිත වෙනස් කරගෙන, තමන්ගේ බලවත් උදහසින් දුරුවන්න බැරි නැත.”</verse>
				<verse number="10">දෙවියන් වහන්සේ ඔවුන් කළ දේත්, ඔවුන් නපුරු මාර්ගයෙන් ඉවත් වූ අයුරුත් දැක, ඔවුන්ට කරන්නට අදහස් කළ විපත ගැන සිත වෙනස් කරගෙන එය නොකළ සේක.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">ජෝනා ඊට අතිශයින් අප්‍රසන්න ව කෝප විය.</verse>
				<verse number="2">ඔහු සමිඳාණන් වහන්සේට මෙසේ යාච්ඤා කෙළේ ය: “අහෝ සමිඳුනි, මාගේ රටේ මා සිටිය දී, මා කීවේ මෙය ම නොවේ ද? තර්ෂිෂ්ට පලා යන්නට මා ඉක්මන් වූයේ එබැවිනි. මන්ද, ඔබ දයාවන්ත, අනුකම්පා සහගත, වහා නොකිපෙන සුලු, ඉතා කරුණාවන්ත, විපත්ති පැමිණ වීමට නොකැමැති දෙවි කෙනෙකු බව මම දැනගෙන සිටියෙමි.</verse>
				<verse number="3">ඉතින් සමිඳුනි, මාගේ ප්‍රාණය මාගෙන් තුරන් කළ මැනව. ජීවිතයට වඩා මරණය මට හොඳ ය.”</verse>
				<verse number="4">සමිඳාණන් වහන්සේ ජෝනා අමතා, “කෝප වීම නුඹට යුතු දැ”යි ඇසූ සේක.</verse>
				<verse number="5">එවිට ජෝනා නගරනේ පිටතට ගොස් නගරයට නැගෙනහිරෙන් හිඳගත්තේ ය. ඔහු එහි පැලක් සාදාගෙන නගරයට කුමක් සිදු වේ ද කියා බලන පිණිස එහි සෙවණ යට හිඳගත්තේ ය.</verse>
				<verse number="6">දෙවි සමිඳාණන් වහන්සේ, ජෝනා ඔහුගේ දුකින් මුදන පිණිස ලබු වැලක් වැඩෙන්නට නියම කර, ඔහුගේ හිසට උඩින් එය සෙවණක් සේ යන්නට සැලැසූ සේක. ජෝනා ලබු වැල ගැන ඉතා ප්‍රීති විය.</verse>
				<verse number="7">එහෙත්, පසු දා පහන් වූ විට ලබු වැල කන පිණිස පණුවෙකු ඇති වන්න දෙවියන් වහන්සේ සැලැසූ සේක. ඌ ලබු වැල කෑ විට එය වියළී ගියේ ය.</verse>
				<verse number="8">තවද, ඉර උදා වූ කල, ඉතා උෂ්ණ සුළඟක් පෙරදිගින් හමන්න උන් වහන්සේ නියම කළ සේක. අවුරශ්මිය ජෝනාගේ හිසට වැදී ඔහු ක්ලාන්ත වී, “ජීවිතයට වඩා මරණය හොඳ ය” කියා සිය ප්‍රාණය හානි කරන ලෙස යාච්ඤා කෙළේ ය.</verse>
				<verse number="9">එවිට දෙවියන් වහන්සේ, “ලබු වැල ගැන කෝප වීමට නුඹට යුතු දැ”යි ජෝනාගෙන් ඇසූ සේක. “මැරෙන තරම් කෝප වීම මට යුතු ය”යි ඔහු කීවේ ය.</verse>
				<verse number="10">එවිට සමිඳාණන් වහන්සේ ජෝනා අමතා, “නුඹේ ශ්‍රමය වත්, වගාව වත් නැති ව එක රැයකින් ඇති වී, එක රැයකින් නැති වී ගිය ලබු වැල ගැන නුඹ අනුකම්පා කෙළෙහි නම්,</verse>
				<verse number="11">තමන්ගේ දකුණතත් වමතත් අතරේ වෙනස නොදන්න එක් ලක්ෂ විසි දහසකට වඩා මනුෂ්‍යයන් ද ගවයන් ද සිටින නිනිවය නම් ඒ ශ්‍රේෂ්ඨ නගරය කෙරෙහි මාත් අනුකම්පා කළ යුතු නොවේ දැ”යි වදාළ සේක.</verse>
			</chapter>
		</book>
		<book number="33">
			<chapter number="1">
				<verse number="1">ජෝතාම්, ආහාස් හා හෙසකියා ජුදාහි රජකම් කරන කාලයේ දී, සමාරිය හා ජෙරුසලම සම්බන්ධ ව දර්ශන මඟින් මෝරෙෂෙත්හි මීකාට සමිඳාණන් වහන්සේ ප්‍රකාශ කළ පණිවුඩය මෙය වේ:</verse>
				<verse number="2">සියලු ජනයෙනි, මෙයට සවන් දෙන්න, පොළොව හා එහි ඇති සියල්ලෙනි, මෙයට ඇහුම්කන් දෙන්න. දෙවි සමිඳාණෝ සිය ශුද්ධ මාලිගාවේ සිට ඔබට විරුද්ධ ව සාක්ෂි දෙන සේක.</verse>
				<verse number="3">බලන්න, සමිඳාණෝ සිය ශුද්ධස්ථානයෙන් පිටත් වී, බැස අවුත් පොළොවේ කඳු මුදුනෙහි සක්මන් කරන සේක.</verse>
				<verse number="4">එසේ සක්මන් කරන විට, ගින්න ඉදිරියෙහි ඉටි මෙන් කඳු දිය වී ගොස්, කඳු බෑවුමකින් ගලා බසින වතුර මෙන් මිටියාවත් කැඩී බිඳී යන්නේ ය.</verse>
				<verse number="5">මේ සියල්ල සිදු වන්නේ, ජාකොබ් සෙනඟගේ අපරාධ හා ඉශ්රායෙල් වංශයේ පාප නිසා ය. ජාකොබ්ගේ අපරාධය කුමක් ද? සමාරිය නොවේ ද? ජුදාහි සෙනඟගේ ගිරිකුළු දේවාල මොනවා ද? ජෙරුසලම නොවේ ද?</verse>
				<verse number="6">“එබැවින් මම සමාරිය නටබුන් රටක් කරන්නෙමි. එය සුදුසු වන්නේ මිදි වගාවට පමණි. මම ඒ නගරයේ ගල්, මිටියාවතට හෙළා දමා එහි අත්තිවාරම මතු කර දක්වන්නෙමි.</verse>
				<verse number="7">එහි ඇති සියලු කැපූ රූප සුණු විසුණු කරනු ලැබේ. ඔවුන් සම්බ කරන සියල්ල ගින්නෙන් විනාශ කරනු ලැබේ. දේව රූප සුන්බුන් කරනු ලැබේ. මන්ද, ඒවා වේශ්‍යාකමට අය කළ ගාස්තුවෙන් රැස් කරගනු ලැබී ය. වේශ්‍යාකමේ පණයම් ගෙවීමට එය නැවත වැය වන්නේ ය.</verse>
				<verse number="8">“මේ නිසා මම හඬා වැලපෙන්නෙමි; පාවහන් වත්, ඇඳුම් වත් නැති ව යන්නෙමි; සිවලුන් මෙන් විලාප නඟන්නෙමි; පැස්බරුන් මෙන් වැලපෙන්නෙමි.</verse>
				<verse number="9">මන්ද, සමාරියේ තුවාළ අසාධ්‍ය ව තිබේ. ජුදාවටත් ඒ දේ සිදු විය. මාගේ සෙනඟගේ දොරටුව වන ජෙරුසලම දක්වා එම විනාශය ළං වී ඇත.”</verse>
				<verse number="10">“ගාත්හි සෙනඟට එය නොදන්වන්න; නුඹලා නොවැලපෙන්න; බෙත්-ලෙඅප්‍රාහි දූවිල්ලෙහි පෙරළෙමින්, සිටින්න.</verse>
				<verse number="11">ෂාපීර්හි වැසියෙනි, නග්න ව, ලජ්ජාවෙන් මඟ යන්න. ශයනාන්හි වැසියෝ පිටතට නොඑති. බෙත්-ඒශෙල්හි වැලපීම නිසා එහි පිහිට නුඹලාගෙන් පහවන්නේ ය.</verse>
				<verse number="12">සමිඳාණන් වහන්සේ විනාශය ජෙරුසලම් දොරටුවට ළං කර තිබෙන බැවින් මාරෝත්හි සෙනඟ සුසුම්ලමින් සහනයක් බලා සිටිති.</verse>
				<verse number="13">අහෝ ලාකීෂ්හි වැසියෙනි! නුඹලාගේ අශ්වයන් රථවල බැඳගන්න; සියොන් පුරඟනගේ පාපයේ පටන්ගැන්ම මෙය විය. මන්ද, ඉශ්රායෙල් කළ පාපය ම නුඹත් කර ඇත.</verse>
				<verse number="14">එබැවින් දැන් නුඹලා මෝරෙෂෙත්-ගාත් නගරයට වෙන් වී යෑමේ ත්‍යාග දිය යුතු ය. අක්සීබ් වංශය ඉශ්රායෙල් රජවරුන්ට මලපතක් වන්නේ ය.</verse>
				<verse number="15">“එම්බා මරේෂාහි වැසියෙනි! නුඹලා අල්ලාගන්න සතුරන් නැවත එවන්නෙමි. ඉශ්රායෙල්හි තේජස අදුල්ලාම් නගරයට පවා පැමිණෙන්නේ ය.</verse>
				<verse number="16">නුඹලාගේ ප්‍රියාදර දරුවන් නිසා හිස කෙස් කපන්න, හිස බූගාන්න. ඔවුන් නුඹලා වෙතින් වහල්කමට ගෙනයනු ලබන නිසා ගිජු ලිහිණියෙකුගේ හිස මෙන් හිස මුඩු කරගන්න.”</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">සිය යහන්වල වැතිර, නපුරු උපා හිතන මතන අයට වන විපතක මහත! පහන් වූ විට ඔවුන්ගේ අතේ බලය නිසා ඔව්හු ඒවා කරති.</verse>
				<verse number="2">ඔව්හු තමන් ආසා කළ කෙත් බලහත්කාරයෙන් ගනිති; ගෙවල් ද පැහැර ගනිති. ඔව්හු මිනිසුන් සහ ගේදොර ද දේපළ ද සොරාගනිති.</verse>
				<verse number="3">ඒ නිසා සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නුඹලා පිට එවැනි විපත්ති පමුණුවන්නට යෝජනා කරන්නේ මම ය. නුඹලාට බේරෙන්න නොහැකි වන්නේ ය. නුඹලාට උඩඟුකමින් හැසිරෙන්න නොහැකි වන්නේ ය. මන්ද, එය නුඹලාට නපුරු කාලයක් වනු ඇත.</verse>
				<verse number="4">ඒ කාලයේ දී නුඹලා පිළිබඳ කථාන්තරය විනාශයේ උදාහරණයක් වශයෙන් ගෙන ළතෝනි ද ගයන්නෝ ය. ‘අපි නැත්තට ම නැති වී සිටිමු’යි කියමින් ඔව්හු මෙසේ ද කියති: ‘දේශය අප අතින් පැහැරගෙන තිබෙන හැටි! ඒ දේශය අප වහල්කමට ගත් අයට උන් වහන්සේ දී ඇත.’ “</verse>
				<verse number="5">එබැවින් සමිඳාණන් වහන්සේගේ සෙනඟ අතර දේශය නැවත බෙදා දෙන දවසේ දී, නුඹලාගෙන් කිසිවෙකු වත් එයින් කොටසක් නොලබන්නේ ය.</verse>
				<verse number="6">‘දේශනා නොකරන්න. ඕවා ගැන කිසිත් දේශනා නොකරන්න. අපට කිසි නින්දාවක් නොවන්නේ ය’යි සෙනඟ දේශනා කරති.</verse>
				<verse number="7">ජාකොබ්ගේ සෙනඟ සාපයක් යටතේ සිටිත් ද? සමිඳාණන් වහන්සේට ඉවසිල්ලක් නැද් ද? ඇත්තෙන් ම උන් වහන්සේ ක්‍රියා කරන්නේ මෙසේ ද? අවංක අයට උන් වහන්සේ කරුණාවෙන් කතා නොකරන සේක් ද?</verse>
				<verse number="8">“එහෙත් මාගේ සතුරන් වී සිටින්නේ නුඹලා ය. අහිංසකයන්ගේ පොරෝනාව නුඹලා උදුරාගන්නහු ය; සාමකාමී මිනිසුන් යුද්ධයට පොළඹවන්නහු ය.</verse>
				<verse number="9">නුඹලා මාගේ සෙනඟගේ ස්ත්‍රීන්, තමන් ප්‍රිය කරන ගෙවලින් පන්නා දමන්නහු ය. නුඹලා ඔවුන්ගේ බාල දරුවන්ගෙන් මාගේ මහිමය සදහට ම පහකළහු ය.</verse>
				<verse number="10">නැඟිට යන්න. මෙය නුඹලාට විවේක ස්ථානයක් නොවේ. පාපය නිසා නුඹලා භයානක විපතකට පත් වන්නහු ය.</verse>
				<verse number="11">“බොරුවෙන් ද වංචාවෙන් ද පිරුණ, නුඹලාට ‘මුද්‍රික පානයත්, සුරා පානයත් ගලා එනු ඇතැ යි මම දිවැස් දෙසමි’යි කියමින් සිටින යම් මිනිසෙක් වේ නම්, සෙනඟ ප්‍රිය කරන දිවැසිවරයා එවැන්නෙකි.</verse>
				<verse number="12">“එම්බා ජාකොබ්ගේ ජනයෙනි! නුඹලා සියලු දෙනා මම එක්රැස් කරන්නෙමි. ඉශ්රායෙල්හි ඉතිරි අය ද මම එක්රැස් කරන්නෙමි. කොටුවක සිටින බැටළුවන් මෙන් ද තණ බිම මැද සතුන් රැළක් මෙන් ද මම නුඹලා එක්රැස් කරන්නෙමි. ඔව්හු කිසිවෙකුට භය නොවන්නෝ ය.</verse>
				<verse number="13">“දොරටුව බිඳින්නා ඔවුන්ට පෙරටුව යයි. ඔව්හු නගර දොරටු බිඳගෙන එයින් පිට වී යන්නෝ ය. ඔවුන්ගේ රජතුමාණන් වන සමිඳාණන් වහන්සේ ඔවුන්ට පෙරටුවෙන් යනු ඇත.”</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">එවිට මම මෙසේ කීවෙමි: “ජාකොබ්ගේ නායකයෙනි, ඉශ්රායෙල්හි අධිපතියෙනි, සවන් දෙන්න. යුක්තියට ගරු කිරීම නුඹලා දැනගත යුතු නොවේ ද?</verse>
				<verse number="2">එහෙත්, නුඹලා යහපතට ද්වේෂ කර අයහපතට ඇලුම් වන්නහු ය. නුඹලා මාගේ සෙනඟට හඬ ගසා, කටුවලින් ඔවුන්ගේ මස් ඉරා දමන්නහු ය.</verse>
				<verse number="3">නුඹලා මාගේ සෙනඟ කා දමන්නහු ය. ඔවුන් හමගසා, ඇටකටු පොඩිකර ඇතිලියක සහ මුට්ටියක දැමීමට මස් මෙන් පෙති ගසන්නහු ය.</verse>
				<verse number="4">එවිට ඔව්හු සමිඳාණන් වහන්සේට මොරගසන්නෝ ය. එහෙත්, උන් වහන්සේ ඔවුන්ට පිළිතුරු නොදෙන සේක. බොහෝ නපුරු ක්‍රියා කර තිබෙන බැවින් උන් වහන්සේ ඒ කාලයේ දී ඔවුන් දෙස නොබලන සේක.</verse>
				<verse number="5">“සමිඳාණන් වහන්සේ දිවැසිවරයන්ට විරුද්ධ ව මෙසේ කියන සේක: ‘බොරු දිවැසිවරයන් සෙනඟ රවටා ඇත. ඔවුන්ට කෑම දෙන අයට ඔව්හු සාමය ගැන කතා කරති; කෑම නොදෙන අයට විරුද්ධ ව යුද්ධයක් ඇති වේ ය’යි ඔව්හු තර්ජනය කරති.</verse>
				<verse number="6">නුඹලා සෙනඟ රැවටූ නිසා, නුඹලාට මින්පසු දර්ශන නැති රාත්‍රියක් එනු ඇත. අනාවැකි කීමක් නැති අන්ධකාරයක් වනු ඇත. නුඹලා කෙරෙහි ඉර බැස යනු ඇත. දාවල් කාලය කළුවර වනු ඇත.</verse>
				<verse number="7">බොරු දිවැසිවරයා ලජ්ජාවෙන් ද පේන කියන්නා වියවුලෙන් ද මුහුණ වසාගත්තේ ය; ඔවුන් බලාපොරොත්තු වන පිළිතුර දෙවියන් වහන්සේගෙන් නොලැබෙන නිසා ඔව්හු කටවල් වසාගන්නෝ ය.</verse>
				<verse number="8">“එහෙත් ජාකොබ්ගේ සෙනඟට ඔවුන්ගේ දුෂ්ටකම ද ඉශ්රායෙල් සෙනඟට ඔවුන්ගේ පාපය ද පෙන්වා දෙන පිණිස සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවයෙන් හා බලයෙන් ද යුක්තියෙන් ද ධෛර්යයෙන් ද මම පූර්ණ වී සිටිමි.</verse>
				<verse number="9">යුක්තිය පිළිකුල් කරන, ඇත්ත නැත්ත කරන ජාකොබ්ගේ වංශයේ නායකයෙනි, ඉශ්රායෙල් වංශයේ අධිපතියෙනි, මට සවන් දෙන්න.</verse>
				<verse number="10">සියොන්, ඔබ ලේවලින් ද ජෙරුසලම අයුක්තියෙන් ද ගොඩනඟා ඇත.</verse>
				<verse number="11">එහි නායකයෝ අල්ලසට විනිශ්චය කරති; පූජකයෝත් කුලියට උගන්වති; බොරු දිවැසිවරු මුදලට පේන කියති. එහෙත්, සමිඳාණන් වහන්සේ කෙරෙහි රඳා සිටිමින්, ‘සමිඳාණන් වහන්සේ අප සමඟ නොවේ ද? අපට කිසි විපත්තියක් නොපැමිණෙන්නේ ය’යි ඔව්හු කියති.</verse>
				<verse number="12">“එබැවින් ඔබ නිසා සියොන් කෙතක් මෙන් හානු ලබන්නේ ය; ජෙරුසලම නටබුන් ගොඩක් වන්නේ ය; දේව මාලිගාවේ කන්ද කැළෑවක් සහිත කඳු මුදුනක් වන්නේ ය.”</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">“මතු දවස, සමිඳුන්ගේ මාලිගාව පිහිටි කන්ද ඉතා ම උස කන්ද මෙන් ද සියලු කඳු හෙල්වලට වඩා ඉහළින් ද පිහිටුවනු ලබන්නේ ය. ජනයෝ එයට වැල නොකැඩී එන්නෝ ය.</verse>
				<verse number="2">‘එන්න, අපි සමිඳුන්ගේ කන්දට යමු; ජාකොබ්ගේ දෙවිඳුන්ගේ මාලිගාවට යමු. එවිට ස්වකීය මාර්ගය ගැන එතුමාණන් අපට උගන්වනු ඇත: අපි ද එතුමාණන්ගේ මාර්ගවල ගමන් කරන්නෙමු’යි කියන්නෝ ය. මන්ද, සමිඳුන්ගේ නීතිය සියොන් කන්දෙන් ද එතුමාණන්ගේ ඉගැන්වීම ජෙරුසලමෙන් ද නිකුත් වන්නේ ය.</verse>
				<verse number="3">
					එතුමාණෝ බොහෝ ජාතීන් විනිශ්චය කර, බොහෝ දුර සිටින බලවත් ජාතීන් අතර නඩු හබ විසඳන සේක.
					ඔව්හු තමන්ගේ කඩුවලින් නඟුල් තල ද හෙල්ලවලින් දෑකැති ද තලා ගන්නෝ ය. ජාතියක් ජාතියකට විරුද්ධ ව කඩු ගන්නේ නැත. කිසි කලෙක ඔවුන් යුද්ධයට පුහුණු වන්නේ නැත.
				</verse>
				<verse number="4">
					ඔවුන්ට කිසිවෙකුගෙන් බියක් නැත.
					එකිනෙකා තම තමාගේ මිදි වැල යට ද අත්තික්කා ගස යට ද යෙහෙන් වාසය කරනු ඇත.” සව් බලැති සමිඳාණෝ මෙය වදාළ සේක.
				</verse>
				<verse number="5">ඒ ඒ ජාතීන් තම තමන්ගේ දෙවියන් අදහා නමස්කාර කරන නමුදු, අපි සදහට ම අපේ දෙවි සමිඳාණන් වහන්සේ අදහා නමස්කාර කරමු.</verse>
				<verse number="6">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ දවසේ දී නැති වූ අය එක්රැස් කර විප්‍රවාසගත වූ අය ද මා දඬුවම් කළ අය ද මම නැවත එකතු කරන්නෙමි.</verse>
				<verse number="7">එහෙත්, නැති වූ අයගෙන් ඉතිරි කුඩා පිරිසක් ඇති කරන්නෙමි. ඉවත දැමූ අය බලවත් ජාතියක් කරන්නෙමි. මෙතැන් පටන් සදහට ම සමිඳාණන් වහන්සේ තමන් වහන්සේගේ කන්දේ ඔවුන් කෙරෙහි රජකම් කරන සේක.”</verse>
				<verse number="8">එම්බා සෙනඟගේ මුර අට්ටාලය, සියොන් පුරඟනගේ බලකොටුව, ඔබ වෙත නැවතත් පළමු ආණ්ඩුව පැමිණෙන්නේ ය. ජෙරුසලම් පුරඟනගේ රාජ්‍යය පැමිණෙන්නේ ය.</verse>
				<verse number="9">දැන් ඔබ කෑගසන්නේ මන් ද? ඔබට රජෙකු නැති නිසා ද? වදන වේදනා විඳින ස්ත්‍රියක මෙන් ඔබ වේදනාව විඳින්නේ මන් ද? ඔබේ රාජ්‍ය උපදේශකයන් මිය ගොස් සිටින නිසා ද?</verse>
				<verse number="10">වදන වේදනා විඳින ස්ත්‍රියක මෙන් සියොන් පුරඟන වද වේදනා විඳින්න. මන්ද, ඔබට දැන් නගරයෙන් පිටත් වී ගොස් ආරක්ෂාවක් නැති පෙදෙසක ජීවත් වන්න සිදු වනු ඇත. ඔබට බබිලෝනියට යන්න සිදු වනු ඇත. එහි දී සමිඳාණන් වහන්සේ ඔබ නිදහස් කර, සතුරන්ගේ අතින් ඔබ මුදාගනු ඇත.</verse>
				<verse number="11">බොහෝ ජාතීන් ඔබට පහර දෙන්න දැන් රැස් වී ඇත. “ජෙරුසලම විනාශ වේ වා! අපි එහි නටබුන් දෙස බලා සිටිමු”යි ඔව්හු කියති.</verse>
				<verse number="12">එහෙත් සමිඳාණන් වහන්සේගේ අදහස කුමක් දැ යි ඔව්හු නොදනිති. ගොයම් රැස් කරගෙන මඩින්නාක් මෙන් ඔවුන්ට දඬුවම් කරන්න උන් වහන්සේ ඔවුන් රැස් කර ඇති බව ඔව්හු නොදනිති.</verse>
				<verse number="13">“සියොන් පුරඟන, නැඟිට ගොයම් පාගන්න. බොහෝ ජාතීන් පොඩි කරන පිණිස ඔබට මම යකඩ අං හා ලෝකඩ කුර දෙන්නෙමි. ඔවුන්ගේ ධනය සමිඳාණන් වහන්සේට කැප වන්නේ ය. එය මුළු ලෝකයේ සමිඳාණන් වහන්සේට කැප වන්නේ ය.”</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">හමුදා රැස් කරන්න. සතුරෝ ජෙරුසලම වටලාගෙන සිටිති. ඉශ්රායෙල්හි නායකයන්ට ඔව්හු කෙවිටකින් පහර දෙති.</verse>
				<verse number="2">“එම්බා බෙත්ලෙහෙම් එප්‍රාතා! තී ජුදාහි ගෝත්‍රවලින් ඉතා අල්ප වන්නෙහි ය. එහෙත්, ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වීමට කෙනෙක් තී කෙරෙන් නැඟී එන්නේ ය. එතුමන්ගේ පෙළපතේ මුල දුරාතීතයෙන් ද පැරණි යුගයෙන් ද එන්නකි.”</verse>
				<verse number="3">එබැවින් ගැබ්ගෙන සිටින ස්ත්‍රිය දරුවෙකු බිහි කරන තෙක් සමිඳාණන් වහන්සේ සිය සෙනඟ සතුරන්ට පාවා දෙන සේක. එවිට ඔවුන්ගේ සහෝදරයන්ගෙන් ඉතිරි කුඩා පිරිස ඔවුන්ගේ සෙනඟ සමඟ එක් වන්නෝ ය.</verse>
				<verse number="4">එතුමන් පැමිණි විට, සමිඳාණන් වහන්සේගෙන් ලැබෙන ශක්තියෙන් ද දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයේ මහිමයෙන් ද සිය සෙනඟ පෝෂණය කරනු ඇත. පොළෝ තල වැසියන් සියලු දෙනා එතුමන්ගේ පාලනය පිළිගන්න බැවින්, එතුමන්ගේ සෙනඟ ආරක්ෂා සහිත ව සිටින්නෝ ය.</verse>
				<verse number="5">එතුමාණෝ සාමදානය ගෙන දෙන සේක. අසිරියන්වරුන් අපේ රට ආක්‍රමණය කොට අපේ බලකොටු බිඳගෙන ඇතුළු වූ විට ඔවුන් සමඟ සටන් කිරීමට අපි අපේ පාලකයන් සත්දෙනා සහ ප්‍රධානීන් අටදෙනා යවන්නෙමු.</verse>
				<verse number="6">ඔව්හු සිය කඩුවලින් අසිරියන් රට ද කඩු තලයෙන් නිම්රොද් දේශය ද ජයගන්නෝ ය. අසිරියන්වරුන් අපේ දේශයට පැමිණි විට, අපේ සීමා බිඳ දමන විට, ඒ නායකයෝ ඔවුන් අතින් අප බේරා ගන්නෝ ය.</verse>
				<verse number="7">ජාකොබ්ගේ සෙනඟ අතරෙන් ඉතිරි කුඩා පිරිස බොහෝ ජාතීන් උදෙසා සමිඳාණන් වහන්සේ එවා වදාළ පිනි බිංදු මෙන් ද තණ මත වැහි බිංදු මෙන් ද වන්නෝ ය. ඔවුන්ගේ විශ්වාසය සමිඳාණන් වහන්සේ කෙරෙහි මිස මිනිසා කෙරෙහි නොවන්නේ ය.</verse>
				<verse number="8">ජාකොබ්ගේ වංශයේ ඉතිරි අය බොහෝ සෙනඟ වන ජාතීන් අතරේ වනයේ සැරිසරන සිංහයෙකු මෙන් ද බැටළු ගාල් අතරේ සිංහ පැටියෙකු මෙන් ද වන්නෝ ය. ඔව්හු යන විට ගොදුරු පිට කඩා පැන, කෑලි කෑලිවලට ඉරා දමන්නෝ ය. බේරාගන්න කිසිවෙක් නොවන්නේ ය.</verse>
				<verse number="9">ඔබ බාහු බලයෙන් ඔබේ සතුරන් පරාජයට පත් කොට ප්‍රතිවාදීන් සියල්ලන් ම විනාශ කර දමන්නහු ය.</verse>
				<verse number="10">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ කාලයේ දී මම නුඹලාගේ අශ්වයන් පහකොට නුඹලාගේ රථ විනාශ කරන්නෙමි.</verse>
				<verse number="11">නුඹලාගේ දේශයේ නගර විනාශ කොට සියලු බලකොටු බිඳ දමන්නෙමි.</verse>
				<verse number="12">මම නුඹලා භාවිතා කරන මායම් නැති කර දමමි. පේන කියන එකෙකු වත් ඉතිරි නොකරන්නෙමි.</verse>
				<verse number="13">නුඹලාගේ දේව රූප ද රූපස්ථම්භ ද නුඹලා කෙරෙන් සිඳ දමන්නෙමි. අතින් තනාගත් දේවලට නුඹලා තවත් නමස්කාර නොකරන්නහු ය.</verse>
				<verse number="14">මම නුඹලාගේ රටේ ඇති අෂේරා කප් කණු බිඳ හෙළා නුඹලාගේ නගර විනාශ කරන්නෙමි.</verse>
				<verse number="15">මට කීකරු නොවූ ජාතීන් හට මම උදහසෙනුත්, කෝපයෙනුත් දඬුවම් දෙන්නෙමි.”</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්ට විරුද්ධ ව නඟන චෝදනාවට සවන් දෙන්න. නැඟිට ඔබේ නඩුව කඳු ඉදිරියේ කියා සිටින්න. ඔබ කියන දේ කඳුවලට ඇසේ වා!</verse>
				<verse number="2">එම්බා කඳු! සමිඳාණන් වහන්සේගේ චෝදනාවට කන් දෙන්න. පොළොවේ ස්ථිර අත්තිවාරම්, මේ පැමිණිල්ල අසන්න. මන්ද, සමිඳාණන් වහන්සේ තමන් සෙනඟට විරුද්ධ ව කරන පැමිණිල්ලක් ඇත. උන් වහන්සේ ඉශ්රායෙල්ට විරුද්ධ ව චෝදනාවක් කරන්න යන සේක.</verse>
				<verse number="3">“මාගේ සෙනඟෙනි, මම නුඹලාට කුමක් කෙළෙම් ද? මම කුමකින් නුඹලා වෙහෙසට පත් කෙළෙම් ද? මට පිළිතුරු දෙන්න.</verse>
				<verse number="4">
					මම නුඹලා, මිසරයෙන් පිටතට ගෙනාවෙමි;
					වහල්කමේ නිවාසයෙන් මිදුවෙමි. නුඹලාට මඟපෙන්වන පිණිස මෝසෙස් සමඟ ආරොන් ද මීරියම් ද නුඹලා වෙත එවීමි.
				</verse>
				<verse number="5">
					මාගේ සෙනඟෙනි, මෝවබ්හි රජ වූ බාලාක් නුඹලාට විරුද්ධ ව කළ මන්ත්‍රණය කුමක් ද කියාත්, බෙයෝර්ගේ පුත් බාලාම් ඔහුට දුන් පිළිතුර කුමක් ද කියාත්, ෂිට්ටිම්හි සිට ගිල්ගාල් දක්වා සිදු වූයේ කුමක් ද කියාත් සමිඳුන්ගේ ධර්මිෂ්ඨකම දැනගන්න පිණිස සිහි කරන්න.”
				</verse>
				<verse number="6">මම සමිඳුන් අබිමුවට කුමක් රැගෙන පැමිණෙම් ද? සගයේ දෙවිඳුන් හට කෙසේ නමදිම් ද? දවන යාග පූජා ද අවුරුද්දක් වයසැති එළ වස්සන් ද රැගෙන පැමිණෙම් ද?</verse>
				<verse number="7">දහස් ගණන් බැටළු පැටවුන්ටත්, දස දහස් ගණන් තෙල් ගංගාවලටත් සමිඳාණෝ ප්‍රසන්න වන සේක් ද? මාගේ වරදට වන්දියක් වශයෙන් මාගේ කුලුඳුලා, මාගේ ආත්මයේ පාපය උදෙසා මාගේ දරුවා පූජා කරම් ද?</verse>
				<verse number="8">එම්බා මනුෂ්‍යය! යහපත් දේ කුමක් දැ යි සමිඳාණන් ඔබට පෙන්වා දී ඇත. එතුමාණන් ඔබෙන් ඉල්ලන්නේ කුමක් ද? යුක්තිය ඉටු කිරීමත්, දයා පෙම දැක්වීමත්, යටහත් ලෙස ඔබේ සමිඳුන් සමඟ හැසිරීමත් පමණකි.</verse>
				<verse number="9">සමිඳාණන් වහන්සේ නගරයට මොරගසා මෙසේ වදාරන සේක: “සමිඳාණන් වහන්සේට ගරුබිය පෑම ඥානවන්ත ය. නාගරිකයෙනි, ගෝත්‍රිකයෙනි, සවන් දෙන්න.</verse>
				<verse number="10">දුදනන්ගේ නිවෙස්වල ඔවුන් වංචාවෙන් ලබාගත් වස්තුව ඇත. මා ද්වේෂ කරන හොර මිනුම් ඔව්හු පාවිච්චි කරති.</verse>
				<verse number="11">හොර තරාදි හා බොරු පඩි පාවිච්චි කරන අයට සමාව දිය හැකි ද?</verse>
				<verse number="12">ධනපතීහු දුප්පතුන් සූරා කති. එහි වැසියෝ බොරු කියති. ඔවුන්ගේ කතාව වංචනික ය.</verse>
				<verse number="13">එබැවින් නුඹලාගේ පාප නිසා නුඹලා වනසාලීමට මම පටන්ගෙන සිටිමි.</verse>
				<verse number="14">නුඹලා කන නමුත්, තෘප්තියට නොපැමිණෙන්නහු ය; නුඹලා රැස් කරන නමුත්, රැකෙන්නේ නැත; නුඹලා යම් යම් දේ ගෙන ගියත්, නුඹලාගේ අදහස ඉෂ්ට වන්නේ නැත. නුඹලා රැකගන්න සියලු දේ මම යුද්ධයේ දී වනසමි.</verse>
				<verse number="15">නුඹලා වපුරන නමුත්, අස්වැන්න කපා නොගන්නහු ය. ඔලීව පල මඩින නමුත්, තෙල ඇඟ ගල්වා නොගන්නහු ය. මිදි පල මිරිකන නමුත්, මිදියුස නොබොන්නහු ය.</verse>
				<verse number="16">ඔම්රි රජුගේ අණපණත් ද, ආහබ්ගේ නපුරු ක්‍රියා ද නුඹලා අනුගමනය කළහු ය. ඔවුන්ගේ ප්‍රතිපත්ති නුඹලා පිළිපැද්දහු ය. ඒ නිසා මම නුඹලා විනාශයට පත් කර, නුඹලා එපා කළ සෙනඟක් කරන්නෙමි. හැම තැන සිටින සියලු ජනයා නුඹලාට අපහාස කරන්නෝ ය.”</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">අනේ මා වැනි කාලකණ්ණියෙක්. ගිම්හානයේ පල රැස් කරන්නා ද මිදි පල නෙළන්නා ද වැනි ය. මන්ද, කන්න එක ම මිදි පොකුරක් වත් මා ආසා කරන අත්තික්කාවල නාඹුල් පල වත් නැත.</verse>
				<verse number="2">දේශයේ කිසි ම අවංක මිනිසෙකු වත්, දේව භක්තිය ඇති කෙනෙකු වත් ඉතිරි වී නැත. සෑම දෙනා ම මිනීමැරීමට බලා සිටිති. එක එකා තම තමාගේ සහෝදරයා දැලකින් අසු කරගන්නට මාන බලයි.</verse>
				<verse number="3">වීර්යයෙන් නපුර කිරීමට ඔවුන් දෑත පොවා ඇත. අධිපතියා ද විනිශ්චයකාරයා ද අල්ලස් ඉල්ලති. බලපුළුවන්කම් ඇත්තා ඔහුගේ සිතේ නපුරු ආසාවන් ප්‍රකාශ කරයි. ඔව්හු එකට උපා යොදාගනිති.</verse>
				<verse number="4">ඔවුන්ගෙන් හොඳ ම අය වුව ද කටු ගස් හා සමාන ය. අවංක ම අය වුව ද කටු වැටකටත් වඩා නරක ය. ඔවුන්ගේ මුරකාරයන් කී දඬුවමේ දවස පැමිණ ඇත. ඔවුන් වියවුල් වන කාලය ආසන්න ය.</verse>
				<verse number="5">ඔබේ අසල්වැසියා වත්, හිතවත් මිතුරා වත් විශ්වාස නොකරන්න. ඔබේ භාර්යාවගෙන් වුව ද කට ප්‍රවේසම් කරගන්න.</verse>
				<verse number="6">මේ වනාහි පුත්‍රයා පියාට අගෞරව කරන කාලයකි. දුව ඇගේ මවට විරුද්ධ ව ද ලේලි ඇගේ නැන්දම්මාට එදිරි ව ද නැඟිටින කාලයකි. මිනිසෙකුගේ සතුරෝ සිය පවුලේ අය ම වෙති.</verse>
				<verse number="7">එහෙත්, මම සමිඳාණන් වහන්සේ දෙස බලා සිට, මාගේ ගැළවීම වන දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වන්නෙමි. මාගේ දෙවියන් වහන්සේ මට සවන් දෙන සේක.</verse>
				<verse number="8">මාගේ සතුරෙනි, මාගේ වැටීම ගැන ප්‍රීති නොවන්න. මම වැටී සිටින නමුත් නැවත නැඟිටින්නෙමි. මා දැන් අඳුරෙහි සිටින නමුත් සමිඳාණන් වහන්සේ මාගේ ආලෝකය වන සේක.</verse>
				<verse number="9">මා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ බැවින් මාගේ පැමිණිල්ල ඉදිරිපත් කර විනිශ්චය ඉටුවන තුරු මම උන් වහන්සේගේ උදහස ඉවසන්නෙමි. අන්තිමේ දී උන් වහන්සේ මාගේ සතුරන්ගෙන් මා ආරක්ෂා කොට ඔවුන්ගෙන් මට සිදු වී ඇති විපත්ති පිළිබඳ විනිශ්චය ඉෂ්ට කරන සේක. උන් වහන්සේ මා ආලෝකයට පමුණුවනු ඇත. මම ද උන් වහන්සේගේ ධර්මිෂ්ඨකම දැක ප්‍රීති ප්‍රමෝද වන්නෙමි.</verse>
				<verse number="10">“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කොහේ දැ”යි අසා මට සරදම් කළ මාගේ සතුරන් එය දැක ලජ්ජාවට පත් වනු ඇත. ඔවුන්ගේ පරාජයත්, වීථිවල මඩ මෙන් ඔවුන් පාගනු ලැබීමත් මාගේ ඇස්වලින් දකින්නෙමි.</verse>
				<verse number="11">ජෙරුසලම් වැසියෙනි, ඔබේ පවුරු ගොඩනඟන කාලයක් පැමිණෙන්නේ ය. ඒ කාලයේ දී ඔබේ සීමාවන් පළල් කරනු ලබනවා ඇත.</verse>
				<verse number="12">ඒ කාලයේ දී අසිරියාවේ සිට මිසරය දක්වා ද තීර් සිට ගංගාව දක්වා ද, මුහුදින් මුහුද, කන්දෙන් කන්ද දක්වා ද සිටින ඔබේ සෙනඟ ආපසු පැමිණෙනු ඇත.</verse>
				<verse number="13">එහෙත් පොළොව, එහි සිටින්නන්ගේ නපුරුකම් නිසා කාන්තාරයක් මෙන් වන්නේ ය.</verse>
				<verse number="14">සරුසාර ප්‍රදේශවලින් වට වී, කාන්තාරයක හුදකලා ව සිටින, ඔබේ උරුමය වන ඔබේ රැළට එඬේරෙකුගේ කෙවිටෙන් මෙන් මඟ පෙන්නුව මැනව. පෙර කාලයේ දී මෙන් බාෂාන්හි ද ගිලියද්හි ද පෝෂණය වන්නට ඔවුන්ට ඉඩ දුන මැනව.</verse>
				<verse number="15">මිසරයෙන් පිටතට ආ දවස්වල දී මෙන් අරුමපුදුම දේ අපට පෙන්නුව මැනව.</verse>
				<verse number="16">ජාතීන් එය දැක, ඔවුන් කොතෙක් බලවත් ව සිටියත්, ලජ්ජාවට පත් වනු ඇත. අතින් කට වසාගනු ඇත; එයින් කන් බිහිරි වනු ඇත.</verse>
				<verse number="17">ඔවුන් සර්පයන් මෙන් දූවිල්ල ලෙවකනු ඇත. පොළොවේ බඩ ගා යන සතුන් මෙන් ඔවුන්ගේ බලකොටුවලින් වෙවුලමින් නික්ම එනු ඇත. ඔවුන් අපේ දෙවි සමිඳාණන් වෙත බියෙන් ඇලළී එනු ඇත. ඔබ තුමාණන් නිසා බියපත් වනු ඇත.</verse>
				<verse number="18">සමිඳුනි, ඔබේ ඉතිරි කුඩා පිරිසේ අපරාධය මකා දමා, ඔවුන්ගේ පව් පහකරන, ඔබට සම අන් දෙවි කෙනෙක් සිටිත් ද? එතුමාණෝ උදහස සදහට ම තබා නොගන්න සේක. මන්ද, එතුමාණෝ තිරසර පෙම ප්‍රිය කරන සේක.</verse>
				<verse number="19">එතුමාණෝ අපට යළි අනුකම්පා කරන සේක; අපේ පව් පාගාදමන සේක; අපේ සියලු පව් මුහුදේ පත්ලට හෙළාදමන සේක.</verse>
				<verse number="20">දුරාතීතයේ සිට අප පියවරුන්ට දිවුළාක් මෙන් ජාකොබ්ට විශ්වාසකමත්, ආබ්‍රහම්ට තිරසර පෙමත් දක්වන සේක.</verse>
			</chapter>
		</book>
		<book number="34">
			<chapter number="1">
				<verse number="1">මෙය නිනිවය පිළිබඳ දිව්‍ය ප්‍රකාශනයකි; එල්කොෂ් වැසියෙකු වූ නාහුම්ගේ දර්ශන පොත ය.</verse>
				<verse number="2">සමිඳාණන් වහන්සේ ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකි; උන් වහන්සේට විරුද්ධ වන්නන්ට උන් වහන්සේ දඬුවම් කරන සේක; උදහසින් ඔවුන්ට දඬුවම් දෙන සේක. උන් වහන්සේ තම එදිරිකාරයන්ට දඬුවම් කරන සේක; උන් වහන්සේ තම සතුරන් කෙරෙහි උදහසින් සිටින සේක.</verse>
				<verse number="3">සමිඳාණන් වහන්සේ වහා නොකිපෙන සුලු ය; ඉතා බලවන්ත ය; වරදකාරයන් කිසි කලක නිදොස් නොකරන සේක. සමිඳාණන් වහන්සේ ගමන් කරන මාර්ගයෙහි සුළි සුළං කුණාටු ඇති වන්නේ ය. වලාකුළු වනාහි උන් වහන්සේගේ පාදවලින් ඇවිස්සුණු ධූලි ය.</verse>
				<verse number="4">උන් වහන්සේ මුහුදට තරවටු කළ විට එය වියළී යයි; උන් වහන්සේ සියලු ගංගා සින්දවන සේක. බාෂාන්හි ද කර්මෙල්හි ද කෙත්වතු මැලවී යයි; ලෙබනොන් කන්දේ මල් පර වී යයි.</verse>
				<verse number="5">උන් වහන්සේ ඉදිරියෙහි කඳු දෙදරා යයි; හෙල් දිය වී යයි; උන් වහන්සේ ඉදිරියෙහි පොළොව ද ලොව ද එහි වැසි සියල්ලෝ ද වෙවුලති.</verse>
				<verse number="6">උන් වහන්සේගේ කෝපයට මුහුණ පෑ හැක්කේ කවරෙකුට ද? උන් වහන්සේගේ ඇවිලෙන උදහසේ දී නොනැසී සිටිය හැක්කේ කවරෙකුට ද? උන් වහන්සේගේ කෝපාග්නිය දැල්වෙන විට පර්වත පවා ධූලි මෙන් උන් වහන්සේ ඉදිරියෙහි ඇද හැළෙන්නේ ය.</verse>
				<verse number="7">සමිඳාණන් වහන්සේ යහපත් ය. දුක් විපත් ඇති විට උන් වහන්සේ බලකොටුවක් වන සේක. උන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නන් උන් වහන්සේ දන්න සේක.</verse>
				<verse number="8">එහෙත්, තමන්ගේ සතුරන් ගලා යන ජල ගැල්මකින් සහමුලින් ම විනාශ කරන සේක; එදිරිකාරයන් ලුහුබැඳ ගො‍ස් අන්ධකාරයට නෙරපාදමන සේක.</verse>
				<verse number="9">ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කුමන කුමන්ත්‍රණයක් කරන්නහු ද? උන් වහන්සේ එක පහරකින් ඔබ විනාශ කරන සේක. දෙවරක් උන් වහන්සේට විරුද්ධවන්න කිසිවෙකුට නොහැකි ය.</verse>
				<verse number="10">උන් වහන්සේගේ සතුරෝ කටු ගස් මෙන් පැටලී සුරා පානයෙන් මත් වී සිටිය ද වියළී ගිය පිදුරු මෙන් ගිනිබත් වන්නෝ ය.</verse>
				<verse number="11">සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කූට උපායයන් සිතාමතාගත්, දුෂ්ට කුමන්ත්‍රණ යොදාගත් කෙනෙක් නිනිවයෙන් නික්ම ආයේ ය.</verse>
				<verse number="12">සමිඳාණන් වහන්සේ මෙසේ පවසන සේක: “අසිරියානුවරුන් බලවත් විශාල සංබ්‍යාවක් වන නමුත්, ඔව්හු විනාශ කරනු ලැබ නැත්තට ම නැති වී යන්නෝ ය. මාගේ සෙනඟෙනි, නුඹලාට, මා පීඩා කළ නමුත්, මම තවත් පීඩා නොකරන්නෙමි.</verse>
				<verse number="13">අසිරියන්වරුන් නුඹලා කෙරෙහි පෑ බලය නැති කර, ඔවුන් නුඹලා බැඳ තැබූ දම්වැල් මම සිඳ දමන්නෙමි.”</verse>
				<verse number="14">අසිරියන්වරුන් සම්බන්ධයෙන් සමිඳාණන් වහන්සේගේ නියෝගය මෙය වේ: “ඔවුන්ගේ නාමය තවත් ඉතිරි නොවන්නේ ය. ඔවුන්ගේ දේවාලවල ඇති කැපූ රූප හා වාත්තු පිළිම මම විනාශ කර දමන්නෙමි. ඔවුන් නීච නිසා ඔවුන්ගේ මිනී වළ මම පිළියෙළ කරන්නෙමි.”</verse>
				<verse number="15">අන්න, ශුභාරංචියක් රැගත් පණිවුඩකාරයෙක් කඳු උඩින් එයි. ඔහු එන්නේ සාමය ප්‍රකාශ කරන්න ය. ජුදා ජනයෙනි, ඔබේ මංගල්‍යය පවත්වන්න; බාරහාර ඉටු කරන්න; නපුරු අය තවත් ඔබේ රට ආක්‍රමණය නොකරන්නෝ ය. ඔව්හු සහමුලින් ම සිඳදමනු ලැබූ හ.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">නිනිවය, ඔබ දැන් ආක්‍රමණයකට භාජන වී ඇත. ඔබ සුණු විසුණු කරන බලය දැන් පැමිණ ඇත. බලකොටු රැකවල් කර, මාර්ග මුර කර, සැරසී යුද්ධය සඳහා සූදානම් වන්න.</verse>
				<verse number="2">සතුරා කොල්ලකන්න පෙර ඉශ්රායෙල් දැරූ තේජස හා ජාකොබ්ගේ තේජස සමිඳාණන් වහන්සේ නැවත පිහිටුවන සේක.</verse>
				<verse number="3">ඔබ හැමට පහර දෙන හේවායෝ රතු පලිහ දරති; රතු ඇඳුම් හැඳ සිටිති. ඔව්හු ආක්‍රමණය කිරීමට සූදානම් ය. පැන පැන යන අශ්වයන් ඇද යන රථ ගිනි දැල් මෙන් විහිදෙයි. අසරුවෝ සටනට එළඹෙනු බලා සිටිති.</verse>
				<verse number="4">රථ වීථිවල වේගයෙන් යයි; පළල් මාර්ගවල එහා මෙහා දුවයි; පන්දම් මෙන් දිළිසෙයි; විදුලිය මෙන් ඔබමොබ යයි.</verse>
				<verse number="5">නිලධාරීන්ට පැමිණෙන්න අණ කරනු ලැබේ. ඔව්හු එන විට පැකිළෙති. පවුරට වේගයෙන් දුව ගො‍ස් මුවාවක් තනා ගනිති.</verse>
				<verse number="6">ගංගාවල දිය සොරොව් බිඳී ගො‍ස් ඇත; මාලිගාව බියෙන් ඇලළී යයි.</verse>
				<verse number="7">රැජින අල්ලාගෙන වහල්කමට ගෙනයනු ලැබේ. ඇගේ සේවිකාවෝ මහා දුකින් පපුවට ගසාගනිමින් පරෙවියන් මෙන් සුසුම්ලති.</verse>
				<verse number="8">කැඩී ගිය අමුණකින් වතුර ගලා යන්නාක් මෙන් නිනිවයේ සෙනඟ පලා යති. “නවතින්න, නවතින්න” කියා කෑගසන නමුත්, කිසිවෙකු වත් ආපසු හැරෙන්නේ නැත.</verse>
				<verse number="9">රිදී කොල්ලකාගන්න, රත්රන් කොල්ලකාගන්න, නිමක් නැති වස්තු ද අනර්ඝ සියලු ආකාර බඩු රාශියක් ද එහි ඇත;</verse>
				<verse number="10">නිනිවය භේද වී, භින්න වී, භංග වී ඇත; සිත දෙදරා යයි; දණහිස් වෙවුලයි; තුනටිය කකියයි; ඔවුන් සියල්ලන්ගේ මුහුණු සුදුමැළි වෙයි.</verse>
				<verse number="11">සිංහ ගුහාවත්, තරුණ සිංහයා ගො‍දුරු කෑ ස්ථානයත් දැන් කොයි ද? එහි මීට පෙර සිංහයාත්, සිංහ ධේනුවත්, සිංහ පැටවුනුත් අනතුරක් නැති ව හැසුරුණෝ ය.</verse>
				<verse number="12">සිංහයා උගේ ධේනුව හා පැටවුන් සඳහා ගො‍දුරු අල්ලා, උන් කෑලිවලට ඉරා දුන්නේ ය; සිංහ ගුහාව ගො‍දුරුවලින් ද සිංහ ලෙන ඉරන ලද මස්වලින් ද පුරවා ගත්තේ ය.</verse>
				<verse number="13">සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම නුඹට විරුද්ධ ය; නුඹේ රථවාහන පුළුස්සා දමමි; නුඹේ තරුණ සිංහයෝ කඩුවෙන් විනාශ වෙති. නුඹ අනුන්ගෙන් පැහැරගත් සියල්ල මම නුඹෙන් පැහැරගනිමි. ලෝකයේ නුඹේ දූතයාගේ හඬ නිහඬ වන්නේ ය.”</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">ලේ වගුරුවන නිනිවය, තිට වන විපතක මහත! මුළු නගරය වංචාවෙන් ද බලහත්කාරයෙන් ද පිරී ඇත. එහි කොල්ලකෑම නිමක් නැත.</verse>
				<verse number="2">කසවල සට සට යන ශබ්දයටත්, රෝදවල කට කට යන ශබ්දයටත් සවන් දෙන්න. අශ්වයෝ පැන පැන යති; රථ ද හැලහැප්පෙමින් යයි.</verse>
				<verse number="3">අසරුවෝ පහර දෙති. කඩු ලෙල දෙයි. හෙල්ල බැබළෙයි. සමූහයක් මැරුම් කා ඇත. මළකඳන් ගො‍ඩගැසී ඇත. මළමිනීවල නිමක් නැත. මිනිස්සු මළකඳන්වල හැපී වැටෙති.</verse>
				<verse number="4">නිනිවය නම් වෙසඟන ඇගේ දඬුවම් ලබන්නී ය. මායාකාරී ඈ ඉතා සුරූපී ය. ඈ ඇගේ වේශ්‍යාකමින් ජාතීන් ද මායම්වලින් ගෝත්‍ර ද වසඟ කරගත්තා ය.</verse>
				<verse number="5">සියලු බලැති දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: “නිනිවය, මම නුඹට දඬුවම් කරමි. මම නුඹ නිර්වස්ත්‍ර කර, නුඹේ නග්න භාවය ජාතීන්ට ද විලිලජ්ජාව රාජ්‍යයන්ට ද දක්වන්නෙමි.</verse>
				<verse number="6">පිළිකුල් දේ නුඹ පිට හෙළා නුඹට නින්දා කොට අනුන් ඉදිරියේ නුඹ කෝලමක් කරන්නෙමි.</verse>
				<verse number="7">නුඹ දකින සියල්ලෝ නුඹ වෙතින් පලා ගො‍ස්, ‘නිනිවය නාස්ති විය; ඈට අනුකම්පාව දක්වන්නේ කවරෙක් ද? ඈ සනසන්න යමෙකු මා කොතනින් සොයන්න දැ’යි කියන්නෝ ය.</verse>
				<verse number="8">“එම්බා නිනිවය, තී තීබ්ස් නගරයට වඩා හොඳ ද? ආරක්ෂාව ගෙන දෙන ගංගාවක් ඈ වටේටත් තිබිණ. නයිල් ගඟ ඇගේ දිය අගල ද ප්‍රාකාරය ද විය.</verse>
				<verse number="9">එතියෝපියාව හා මිසරය ඇගේ බලය විය. ඇගේ බලය අසීමිත ය. පූට් සහ ලිබියන්වරු ඇගේ සහකාරයෝ වූ හ.</verse>
				<verse number="10">එහෙත්, තීබ්ස් රටේ ජනයා විප්‍රවාසගත කරනු ලැබ, වහල්කමට ගෙනයනු ලැබූ හ. ඇගේ බිළිඳු දරුවෝ හැම මංසන්ධියක ම බිම ගසා මරනු ලැබුවෝ ය. ඇගේ වැදගත් සෙනඟ උදෙසා දාදු දමන ලදී. බලවත් අය දම්වැල්වලින් බැඳගෙන යනු ලැබූ හ.</verse>
				<verse number="11">“නිනිවය, තී මත් සුරාසොඬෙකු මෙන් සිහිසන් නැති වී යනු ඇත. සතුරාගෙන් ගැළවෙන පිණිස තී රක්ෂස්ථානයක් සොයන්නෙහි ය.</verse>
				<verse number="12">නුඹේ සියලු බලකොටු, සහමුලින් ම ඉදුණු පල ඇති අත්තික්කා ගසක් වැනි ය. ගස සෙලවූ විට එහි පල කන්නාගේ කටට වැටෙන්නේ ය.</verse>
				<verse number="13">නුඹේ හේවායෝ ගැහැණුන් වැනි ය. සතුරන් ඉදිරියෙහි වාසල් දොරටු සම්පූර්ණයෙන් ම ඇරී ඇත. නුඹේ දොරටුවල අගුල් ගිනිබත් වී ඇත.</verse>
				<verse number="14">වටලෑමකට පාත්‍රවීමේ සූදානමක් වශයෙන් වතුර ඇද රැස් කර තබන්න. බලකොටු ශක්තිමත් කරගන්න. මැටි පාගන්න. ගඩොල් සාදන්න.</verse>
				<verse number="15">එසේ කළත් ගින්නෙන් නුඹ දැවී යන්නෙහි ය. නැතහොත් යුද්ධයේ දී මරනු ලබන්නෙහි ය. පළඟැටියන් ගො‍යම් කාදමන්නාක් මෙන් නුඹ විනාශ වී යන්නෙහි ය. “නුඹ පළඟැටියන් මෙන් ද පනින පළඟැටියන් මෙන් ද ගණනින් වැඩි වන්න.</verse>
				<verse number="16">අහසේ තාරකාවලට වඩා නුඹේ වෙළඳුන්ගේ ගණන වැඩි වී ඇත. එහෙත්, ඔවුන් සියල්ලන් තටු විහිදා ඉගිළී යන පනින පළඟැටියන් මෙන් අතුරුදහන් වී ගො‍ස් ඇත.</verse>
				<verse number="17">අධිපතීහු පළඟැටියන් වැනි ය. සෙන්පතීහු පනින පළඟැටියන් වැනි ය. එහෙත් ශීත දවසක බිත්තිවල සිටින උන් ඉර උදා වූ විට ඉගිළී යති; ඔවුන් ආගිය අතක් කිසිවෙක් නොදනිති.</verse>
				<verse number="18">“අසිරියාවේ රජ්ජුරුවෙනි, නුඹේ පාලකයෝ නිදාගනිති; නුඹේ අධිපතීහු සැතපෙති; නුඹේ සෙනඟ කඳුවලට විසිරී ගො‍ස් ඇත. ඔවුන් නැවත එක්රැස් කරන්න කිසිවෙක් නැත.</verse>
				<verse number="19">නුඹේ තුවාළවලට පිළියමක් නැත; නුඹේ තුවාළ අසාධ්‍ය ය. නුඹේ මේ පුවත අසන සියල්ලෝ නුඹේ වැටීම ගැන අත්පොළසන් දෙති. මන්ද, නුඹේ දරුණු දුෂ්ටකමෙන් බේරුණ කෙනෙක් ඇද් ද?”</verse>
			</chapter>
		</book>
		<book number="35">
			<chapter number="1">
				<verse number="1">හබක්කුක් නම් දිවැසිවරයා දර්ශනයකින් ලත් දිව්‍ය ප්‍රකාශනය මෙය වේ.</verse>
				<verse number="2">සමිඳාණන් වහන්ස, ඔබ සවන් දෙන තෙක්, සවන් දී බලහත්කාරයෙන් අප මුදන තෙක් මම කොපමණ කල් ඔබට මොරගසම් ද?</verse>
				<verse number="3">තාඩන පීඩන හා බලහත්කාරය මා අවටින් ඇත. කලකෝලාහල හා අඬදබර හැම තැන ම ඇත. මෙවැනි හිරිහැර හා නපුරුකම් මට බලා සිටින්නට ඔබ වහන්සේ සලසා ඇත්තේ මන් ද?</verse>
				<verse number="4">නීතිය දුර්වල වී ඇත. යුක්තිය කිසි කලෙක ඉටු නොවේ. දුෂ්ටයන් ධර්මිෂ්ඨයන් යටපත් කර ඇත. යුක්තිය නොපිට පෙරළා ඇත.</verse>
				<verse number="5">“නුඹ අවට ඇති ජාතීන් දෙස බලන්න. නුඹ දකින දෙයින් නුඹ පුදුමයට හා විස්මයට පත් වනු ඇත. මන්ද, නුඹලාගේ කාලයේ දී මා කරන්න යන්නේ, නුඹට කීවත් විශ්වාස කරන්න බැරි දෙයකි.</verse>
				<verse number="6">දරුණු, කලබලකාරී බබිලෝනි ජාතිකයන් මම බලයට පත් කරමි. ඔව්හු අන්‍ය රටවල් අල්ලාගන්න පිණිස ලෝකය හරහා ගමන් කරති.</verse>
				<verse number="7">ඔව්හු භයානක ය, බිහිසුණු ය. ඔවුන්ගේ ශක්තිය ඔවුන්ගේ යුක්තිය හා උසස්කම වේ.</verse>
				<verse number="8">“ඔවුන්ගේ අශ්වයෝ දිවියන්ට වඩා ශීඝ්‍රගාමී ය. ක්ෂුධාවෙන් සිටින අඳුරු වේලේ වෘකයන්ට වඩා දරුණු ය. ඔවුන්ගේ අසරුවෝ ඉදිරියට යන්නෝ ය; අසරුවෝ දුර සිට එන්නෝ ය. ගොදුරු කරා වේගයෙන් යන රාජාලීන් මෙන් ඔව්හු කඩා පැන එන්නෝ ය.</verse>
				<verse number="9">“ඔවුන්ගේ හමුදා සාහසික ලෙස ඉදිරියට එති. ඔවුන් ආක්‍රමණය කරන විට සෙනඟ තැතිගෙන සිටිති. ඔවුන් වහල්කමට ගන්න අයගේ ගණන වැලි හා සමාන ය.</verse>
				<verse number="10">ඔව්හු රජුන්ට නින්දා කරති; අධිපතීන්ට කවටකම් කරති; සෑම බලකොටුවක් ම සුළු කොට සලකති; පස් ගොඩකර ඒවා අල්ලා ගනිති.</verse>
				<verse number="11">තමන්ගේ බලය ස්වකීය දෙවියන් කොට ගත් වරදකරුවන් වන මොවුහු සුළඟ මෙන් ගසාගෙන ගොස් පහ ව යන්නෝ ය.”</verse>
				<verse number="12">ස්වාමීනි, දඬුවම් කරන පිණිස විනිශ්චය කිරීමේ ආයුධයක් සේ ඔබ ම බබිලෝනිවරුන් තෝරාගෙන ඔවුන් පර්වතයක් මෙන් ශක්තිමත් කර ඇත. මාගේ දෙවි සමිඳුනි, මාගේ ශුද්ධ තැනැන් වහන්ස, ඔබ ආදියේ සිට අමරණීය දෙවියන් වහන්සේ නොවන සේක් ද?</verse>
				<verse number="13">නපුර බලන්නට බැරි තරම් පවිත්‍ර ඇස් ඇති, වැරදි කරන අය නුරුස්සන ඔබ වහන්සේ, ද්‍රෝහීන් දෙස බලා සිටින්නේත්, දුෂ්ටයා තමාට වඩා දැහැමි තැනැත්තා විනාශ කරන විට ඔබ නිහඬ ව සිටින්නේත් මන් ද?</verse>
				<verse number="14">ඔබ වහන්සේ මිනිසුන් මුහුදේ මත්ස්‍යයන් මෙන් ද මූලිකයෙකු නැති බඩගා යන සතුන් මෙන් ද සලකන්නේ මන් ද?</verse>
				<verse number="15">බබිලෝනිවරු බිලිකටුවලින් මිනිසුන් අල්ලා ගනිති; දැල් දමා ඇදගෙන, අතංගුවෙන් ඔවුන් එකතුකර ඒ ගැන ප්‍රීති වෙමින් උදන් අනති.</verse>
				<verse number="16">ඔව්හු දැල්වලට පූජා ද අතංගුවට සුවඳ දුම් ද ඔප්පු කරති. මන්ද, ඒවායින් ම සැප විහරණයෙන් කල් යවමින් පුෂ්ටිමත් ආහාර අනුභව කරන බැවිනි.</verse>
				<verse number="17">මේ අයුරින් දැල් හිස් කරමින් නිර්දය ලෙස ජාතීන් විනාශ කිරීමට ඔබ ඉඩ හරින සේක් ද?</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">මම මාගේ මුර අට්ටාලය උඩට නැඟ, බලකොටුව උඩ සිටගෙන, සමිඳාණන් වහන්සේ මට කියන්නේ කුමක් ද කියාත්, මාගේ පැමිණිල්ල ගැන දෙන පිළිතුර කුමක් ද කියාත් බලා සිටින්නෙමි.</verse>
				<verse number="2">සමිඳාණන් වහන්සේ මට මෙසේ පිළිතුරු දුන් සේක: “දර්ශනය ලියන්න; එය කියවන්න පුළුවන් වන පිණිස ගල් පුවරුවල පැහැදිලි ලෙස ලියන්න.</verse>
				<verse number="3">එසේ කළ යුත්තේ දර්ශනය නියම කාලය වන තෙක් පමාවන බැවිනි. එහෙත්, එය නිෂ්ඵල නොවී වේගයෙන් ඉටුවනු ඇත. එය නොවරදවා පැමිණෙන්නේ ම ය.</verse>
				<verse number="4">අදමිටු අය නොපවතින්නෝය; එහෙත්, දමිටු අය දෙවියන් වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ලෙන් ජීවත් වන්නෝ ය.”</verse>
				<verse number="5">වස්තුව රවටන සුලු ය. පාතාලය මෙන් කට අයාගත් තෘෂ්ණාව ඇත; මරණය මෙන් තෘප්තියක් නොලබන, සියලු ජාතීන් තම ආශාව සඳහා රැස් කරන්නාවූ සියලු මිනිසුන් තම වාසියට හරවාගන්නාවූ මිනිසා අහංකාරී නොසංසුන් කෙනෙකි.</verse>
				<verse number="6">සියලු දෙනා ඔහුට අවමන් කොට ඔහුට විරුද්ධ ව මෙසේ ඇනුම්පද කියනු ඇත; “නුඹලාට අයිති නැති දේ ගොඩගසාගත්, උකස් බඩු තමා පිට පටවාගත් අයට වන විපතක මහත!”</verse>
				<verse number="7">නුඹලාගේ ණය හිමියන් හදිසියේ නුඹලා පිට කඩා පනින්නේ නැද් ද? නුඹලාගේ සතුරෝ නුඹලා තැති නොගන්වන්නෝ ද? එවිට ඔව්හු නුඹලා කොල්ලකන්නෝ ය.</verse>
				<verse number="8">නුඹලා බොහෝ ජාතීන්ගෙන් කොල්ලකෑ නිසා ද නුඹලා කර ඇති ඝාතන නිසා ද දේශයටත්, නගරයටත්, එහි වැසියන්ටත් නුඹලා කර ඇති බලහත්කාරකම් නිසා ද ඉතිරි ව සිටින අය නුඹලා කොල්ලකන්නෝ ය.</verse>
				<verse number="9">තමාගේ නිවෙස උස් තැනක සාදන පිණිස ද උපද්‍රවයෙන් මිදෙන පිණිස ද සිය වංශයේ වාසිය පිණිස සෙස්සන් සූරාකන තැනැත්තාට වන විපතක මහත!</verse>
				<verse number="10">නුඹලාගේ උපායයන් නිසා නුඹලාගේ වංශය පිට නින්දාව පමුණුවාගෙන ඇත. බොහෝ ජාතීන් විනාශ කිරීම නිසා නුඹලා, තමන්ගේ ම විනාශය පමුණුවාගෙන ඇත.</verse>
				<verse number="11">බිත්තියේ ගල් වුව ද නුඹලාට විරුද්ධ ව මොරහඬ නඟන අතර වහලේ රීප්ප හා පරාල දෝංකාර නඟනු ඇත.</verse>
				<verse number="12">නුඹලා අපරාධයෙන් නුවරක් ද මිනීමැරීමෙන් නගරයක් ද ගොඩනඟාගෙන ඇති බැවින් නුඹලාට වන විපතක මහත!</verse>
				<verse number="13">ජාතීන් නිකරුණේ වෙහෙස මහන්සියෙන් ඔවුන් ගොඩනඟා ඇති සියල්ල ගින්නෙන් දවා නැත්තට නැති කිරීම සියලු බලැති සමිඳාණන් වහන්සේගේ ක්‍රියාව නොවේ ද?</verse>
				<verse number="14">මුහුද ජලයෙන් පිරී තිබෙන්නාක් මෙන් සමිඳාණන් වහන්සේගේ තේජස පිළිබඳ දැනගැන්මෙන් පොළොව පිරී යන්නේ ය.</verse>
				<verse number="15">අසල්වාසීන්ගේ නග්න රූප දෙස බලා නින්දා කරන පිණිස අධික කෝපයෙන් ඔවුන්ට බොන්නට දී වෙරිමත් කරන්නාවූ නුඹලාට වන විපතක මහත!</verse>
				<verse number="16">ඒ අයුරින් නුඹලාත් ගෞරවයෙන් වෙනුවට නින්දාවෙන් පිරී සිටින්නහු ය. නුඹලාත් වෙරිමත් වන්නහු ය. සමිඳාණන් වහන්සේගේ දකුණු අතෙහි කුසලානෙන් නුඹලාට බොන්න සලස්වා උන් වහන්සේ නුඹලාගේ ගෞරවය අගෞරවයට හරවන සේක.</verse>
				<verse number="17">නුඹලා කර ඇති මිනීමැරීම් නිසාත්, දේශයටත් නගරයටත් එහි වැසියන්ටත් කර ඇති බලහත්කාරකම් නිසාත්, නුඹලා ලෙබනොන්හි කළ අපරාධ නිසාත් නුඹලා විනාශ කරනු ඇත.</verse>
				<verse number="18">පිළිමයකින් ඇති ප්‍රයෝජනය කුමක් ද? එය මිනිසා විසින් සාදන ලද්දකි. එයට සත්‍යය පවසන්නට බැරි ය. එය වාත්තු පිළිමයක් පමණකි. එය කෙරෙහි විශ්වාසය තැබීමෙන් එය තැනූ තැනැත්තාට වන යහපත කුමක් ද?</verse>
				<verse number="19">ඒ රූපයට ‘පිබිදෙන්න’ කියාත්, ගලින් නෙළූ ගොළු පිළිමවලට ‘නැඟිටින්න’ කියාත් කියන නුඹලාට වන විපතක මහත! පිළිමවලට කිසිවක් එළිදරව් කළ හැකි ද? අහෝ! රන් රිදීයෙන් එය වසා තිබුණත් එය තුළ ප්‍රාණයක් ඇත්තේ ම නැත.</verse>
				<verse number="20">එහෙත්, සමිඳාණන් වහන්සේ සිය ශුද්ධ මාලිගාවේ වැඩ සිටින සේක; මුළු පොළොව උන් වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්ද වේ වා!</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">ශෝක ගීත වෘත්තියට ලියන ලද දිවැසිවර හබක්කුක්ගේ යාච්ඤාව මෙය වේ.</verse>
				<verse number="2">සමිඳාණන් වහන්ස, ඔබ කර ඇති සියලු දේ ගැන මා අසා ඇත. සමිඳාණන් වහන්ස, ඔබේ ක්‍රියා මා තුළ ගරුබිය දනවයි. ඔබ වහන්සේ පෙර කළ බලවත් ක්‍රියා මේ කාලයේදීත් කළ මැනව; පෙන්නුව මැනව; උදහසේ දී ඔවුන්ට දයාව දැක්වුව මැනව.</verse>
				<verse number="3">සමිඳාණන් වහන්සේ තේමාන් සිට ද ශුද්ධ දෙවියන් වහන්සේ පාරාන් කන්දේ සිට ද වඩින සේක. උන් වහන්සේගේ තේජාලංකාරයෙන් ස්වර්ගය ප්‍රභාවත් වෙයි. පොළොව ද උන් වහන්සේගේ ප්‍රශංසාවෙන් පිරී ඇත.</verse>
				<verse number="4">අරුණෝදය මෙන් උන් වහන්සේ වඩින සේක. රශ්මි දහරා උන් වහන්සේගේ අතින් විහිදෙයි. එහි උන් වහන්සේගේ බලය සැඟවී ඇත.</verse>
				<verse number="5">උන් වහන්සේ ඉදිරියෙන් වසංගතය ද පසුපස්සෙන් මාරක රෝගය ද පැමිණේ.</verse>
				<verse number="6">උන් වහන්සේ නවතින විට පොළොව කම්පා කරවන සේක; උන් වහන්සේ බලන විට ජාතීන් වෙවුළුවා හරින සේක. පුරාතන පර්වත දෙදරා යයි; සදාකාල කඳු කිඳා බසියි. උන් වහන්සේගේ ගමන් පුරාණයෙහි මෙන් ය.</verse>
				<verse number="7">කුෂාන්හි සෙනඟ බිය වෙනවාත්, මිදියන්හි ජනයා වෙවුලනවාත් මම දිටිමි.</verse>
				<verse number="8">සමිඳුනි, ඔබ උදහස් වුණේ ගංගාවන්ට විරුද්ධ ව ද? කෝප වුණේ මුහුදට විරුද්ධ ව ද? ඔබ අසුන් පිට නැඟී එන විට ඔබේ ඒ ගමන ජයග්‍රහණය සඳහා ය.</verse>
				<verse number="9">දුන්න පාවිච්චි කරන්න ඔබ සූදානම් වූ සේක; කොපුව ඊතලවලින් පිරී තිබුණේ ය. ඔබ විදුලි පහරින් පොළොව විවර කළ සේක.</verse>
				<verse number="10">ඔබ දැක කඳු තැතිගැනුණේ ය. අහසින් ජලධාරා වැගුරුණේ ය. පාතාලයේ වතුර ඝෝෂා කළේ ය. ඒවායේ රැළ ඉහළට නැඟ විහිදුණේ ය.</verse>
				<verse number="11">ඔබේ ඊතලවලින් විහිදුණු එළිය නිසා ද දිළිසෙන හෙල්ලයේ දීප්තිය නිසා ද ඉර හඳ ස්වකීය විමානවල නැවතී සිටියේ ය.</verse>
				<verse number="12">ඔබ වහන්සේ කෝපයෙන් ලෝකය හරහා ගමන්ගත් සේක. උදහසින් ජාතීන් පාගා දැමූ සේක.</verse>
				<verse number="13">ඔබේ සෙනඟ ගළවන පිණිසත්, ඔබේ අභිෂේක ලත් නිරිඳා මුදන පිණිසත් ඔබ පිටත් ව වැඩිය සේක. ඔබ දුෂ්ටයන්ගේ නායකයා ගසා දමා, ඔහුගේ අනුගාමිකයන් සහමුලින් ම විනාශ කළ සේක.</verse>
				<verse number="14">ඔබ සෙබළුන්ගේ ප්‍රධානියාට ඔහුගේ ම හෙල්ලවලින් ඇන්න සේක. ඔව්හු මා විසුරුවා දමන්නට සුළි සුළඟක් මෙන් ආවෝ ය. ඔවුන්ගේ ප්‍රීතිමත්කම අසරණයන් රහසින් නාස්ති කිරීම ය.</verse>
				<verse number="15">ඔබේ අශ්වයන් මඟින් ඔබ මුහුද පාගා දැමූ විට මහා ජලස්කන්ධය කැළඹී ගියේ ය.</verse>
				<verse number="16">මේ සියල්ල අසා මම කැළඹෙමි. මාගේ තොල් බියෙන් වෙවුලයි. මාගේ ඇටකටු දිරා යයි. මාගේ දෙකකුලේ වාරුව නැති වී යයි. එහෙත්, අපට විරුද්ධ ව ආක්‍රමණය කරන අයට දෙවියන් වහන්සේ දඬුවම් කරන කාලය පැමිණෙන තෙක් මම නිශ්චල ව බලා සිටිමි.</verse>
				<verse number="17">අත්තික්කා ගස පල නොදැරුවත්, මිදි වැල්වල පලදාව නොතිබුණත්, ඔලීව ගසේ පල හට නොගත්තත්, කෙත්වලින් අස්වැන්නක් නොලැබුණත්, ගාලෙන් බැටළු රැළ නැති වී ගියත්, ගව හල් සියල්ල හිස් ව ගියත්,</verse>
				<verse number="18">සමිඳුන් කෙරෙහි මම ප්‍රීති වන්නෙමි. මාගේ ගැළවීමේ දෙවිඳුන් කෙරෙහි ප්‍රීති ප්‍රමෝද වන්නෙමි.</verse>
				<verse number="19">
					දෙවි සමිඳාණෝ මාගේ ශක්තිය වේ.
					මාගේ පාද මුවෙකුගේ පාද මෙන් ශීඝ්‍ර කරන සේක. උස් තැන්වල ඇවිදින්න මට සලස්වන සේක. නායක ගායනාකරුට ය. වීණා ඇති ව ගායනා කිරීමට ය.
				</verse>
			</chapter>
		</book>
		<book number="36">
			<chapter number="1">
				<verse number="1">ආමොන්ගේ පුත්, ජුදාහි රජ ව සිටි ජොෂියාගේ කාලයේ දී සමිඳාණන් වහන්සේ ශෙපනියාට දුන් පණිවුඩය මේ ය. ශෙපනියා වනාහි හෙසකියාගේ පුත් අමරියාගේ පුත්‍රයා වන ගෙදලියාගේ පුත් වූ කුෂිගේ පුත්‍රයා ය.</verse>
				<verse number="2">සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මම මිහි පිට ඇති සියලු දේ සහමුලින් ම විනාශ කරන්නෙමි.</verse>
				<verse number="3">මම සියලු මිනිසුන් ද ස්ත්‍රීන් ද අහසේ කුරුල්ලන් ද මුහුදේ මත්ස්‍යයන් ද විනාශ කරමි. දුෂ්ටයන් වැටෙන්නට සලස්වා, මනුෂ්‍ය වර්ගයා මිහි පිටින් සහමුලින් ම විනාශ කරන්නෙමි. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ ම ය.</verse>
				<verse number="4">“මම ජුදාට ද ජෙරුසලමේ සියලු සෙනඟට ද විරුද්ධ ව මාගේ හස්තය ඔසවා විජාතීන්ගේ පූජකයන්ගේ නාම මේ ස්ථානයෙන් මකාදමන්නෙමි.</verse>
				<verse number="5">ග්‍රහබලධාරීන්ට නමදින පිණිස වහලට නඟින සෑම දෙනෙකු ද මට දිවුරුම් දී මා නමදින නමුත්, මල්කොම් දෙවියාගේ නාමයෙන් දිවුරන සියලු දෙනා ද මම විනාශ කරන්නෙමි.</verse>
				<verse number="6">මා වෙතින් වෙන් ව ගොස් තවත් මා අනුගමනය නො කරන, මා වෙත නො එන, මාගේ මඟපෙන්වීම නොසොයන අය ද මම විනාශ කරමි.”</verse>
				<verse number="7">සමිඳාණන් වහන්සේගේ විනිශ්චය දවස ආසන්න ය. එබැවින් උන් වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්ද වේ වා! සමිඳාණන් වහන්සේ පූජාවක් පිළියෙළ කළ සේක. පූජාව සඳහා සිය සෙනඟ කැපකළ සේක.</verse>
				<verse number="8">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ පූජාව ඔප්පු කරන දවසේ දී අධිපතීන්ට ද රජුගේ පුත්‍රයන්ට ද විදේශීය ඇඳුම් අඳින සියල්ලන්ට ද මම දඬුවම් කරන්නෙමි.</verse>
				<verse number="9">ඒ දවසේ දී විජාතීන් ලෙස නමදින, සොරකම්කර, මිනී මරා සොරාගත් දෙයින් තමන්ගේ දේවාල පුරවාගන්න සියලු දෙනාට මම දඬුවම් කරමි.</verse>
				<verse number="10">“ඒ දවසේ දී ‘මත්ස්‍ය ද්වාරයේ’ ඝෝෂාවක් ද නගරයේ දෙ වන කොටසින් කෑමොරගැසීමක් ද කඳුවලින් මහා ශබ්දයක් ද නුඹලාට ඇසෙනු ඇත.</verse>
				<verse number="11">සියලු වෙළෙඳුන් වැනසූ නිසා ද රිදී කිරන අය විනාශ කරනු ලැබූ නිසා ද නගරයේ පහත කොටසේ සිටින නුඹලා හඬා වැලපෙන්න.</verse>
				<verse number="12">“ඒ කාලයේ දී මම පහනක් දල්වා ජෙරුසලම සෝදිසිකර, ‘සමිඳාණන් වහන්සේ යහපතක් වත්, නපුරක් වත් කරන එකක් නැතැ’යි කියමින් උදාසීන ව සැපපහසුකමින් කල් යවන සියලු දෙනාට දඬුවම් කරමි.</verse>
				<verse number="13">ඔවුන්ගේ වස්තුව කොල්ලකනු ලැබේ; ඔවුන්ගේ ගෙවල් පාළුකරනු ලැබේ; ඔවුන් ගෙවල් ගොඩනඟන නමුත්, ඒවායේ වාසය කරන්නේ වත් මිදි වතු වවන නමුත්, ඒවායින් මිදියුස බොන්නේ වත් නැත.”</verse>
				<verse number="14">සමිඳාණන් වහන්සේගේ මහා දවස ළඟ ය; එය විගසින් ම පැමිණේ. සමිඳාණන් වහන්සේගේ දවසේ ශබ්දය අමිහිරි ය. ඒ දවසේ දී හේවායෝ පවා බියෙන් කෑගසති.</verse>
				<verse number="15">ඒ දවස උදහසේ දවසක් ය. දුක් විපත් ඇති දවසක් ය; නාස්තියේ හා විනාශයේ දවසක් ය; අන්ධකාරයේ හා කළුවරකමේ දවසක් ය; වලාපටල හා ඝනාන්ධකාරය ඇති දවසක් ය.</verse>
				<verse number="16">පවුරු ඇති නගරවලටත් උස් කොත්වලටත් විරුද්ධ ව යුද්ධ හොරණෑ පිඹීමේ ද රණ හඬ නැඟීමේ ද දවසක් ය.</verse>
				<verse number="17">“ඔවුන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ බැවින් අන්ධයන් මෙන් ඇවිදින හැටියට මම ඔවුන් පිට විපත්ති පමුණුවන්නෙමි. ඔවුන්ගේ ලේ ධූලි මෙන් ද මළකඳන් කසළ මෙන් ද විසුරුවනු ලබන්නේ ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="18">සමිඳාණන් වහන්සේගේ උදහසේ දවසේ දී ඔවුන්ගේ රිදී නිසා වත්, රන් නිසා වත් ඔවුන්ට ගැළවෙන්නට නුපුළුවන. උන් වහන්සේගේ උදහසේ ගින්නෙන් පොළොව විනාශ වන්නේ ය. මිහි පිට වසන සියල්ලන් උන් වහන්සේ හදිසියෙන් නැත්තට ම නැති කරදමන සේක.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">ලජ්ජා නැති ජාතිය, එකතු වී රැස්වීමක් පවත්වන්න.</verse>
				<verse number="2">නුඹ බොල් මෙන් පහකරනු ලබන්නට පෙර, සමිඳාණන් වහන්සේගේ බලවත් උදහස දක්වන දවස පැමිණෙන්නට පෙර එක් වන්න.</verse>
				<verse number="3">සමිඳාණන් වහන්සේගේ ආඥා පවත්වන, දේශයේ සිටින නිහතමානී ජනයෙනි, සමිඳාණන් වහන්සේ සොයන්න, ධර්මිෂ්ඨකම සොයන්න. බැගෑපත්කම සොයන්න, සමහර විට සමිඳාණන් වහන්සේ උදහස දක්වන දවසේ දී නුඹලා විනිශ්චයයෙන් බේරෙනු ඇත.</verse>
				<verse number="4">ගාසා නගරයේ කිසිවෙකු වත් ඉතුරු වන්නේ නැත. අෂ්කෙලොන් විනාශ වන්නේ ය; අෂ්දොද්වරු මද්දහන වේලාව වන විට පලවා හරිනු ලබන්නෝ ය; එක්‍රොන් උදුරාදමනු ලබන්නේ ය.</verse>
				<verse number="5">මුහුදුබඩ වසන පිලිස්තිවරුනි, කෙරෙතිවරුනි, අනේ! නුඹලාට වන විපතක මහත! පිලිස්තිවරුන්ගේ දේශය වන කානානය, සමිඳාණන් වහන්සේ නුඹ ගැන තීන්දුව දී හමාර ය. උන් වහන්සේ කිසිවෙකු ඉතුරු නොවන සේ නුඹ විනාශ කරන සේක.</verse>
				<verse number="6">මුහුදුබඩ දේශයේ නුඹේ එඬේරුන්ට පැල් ද බැටළු ගාල් ද සහිත පිට්ටනියක් ඇති වන්නේ ය.</verse>
				<verse number="7">ජුදාහි ඉතිරි ව සිටින කුඩා පිරිස මුහුදුබඩ දේශය අයිතිකර ගනිති. ඔවුන් තමන්ගේ බැටළුවන් එහි පෝෂණය කරනු ඇත; සවස අෂ්කෙලොන්හි ගෙවල නිදාගනු ඇත. ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ සිට ඔවුන්ට සෞභාග්‍යය අත් කරදෙනු ඇත.</verse>
				<verse number="8">සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මෝවබ්වරුන්ගේ පාරට්ටු කිරීම ද අම්මොන් වැසියන්ගේ නින්දා කිරීම ද ඔවුන්ගේ දේශය ගැන පුරසාරම් දෙඩීම ද මාගේ සෙනඟට නින්දා කළ අන්දම ද මා අසා ඇත.</verse>
				<verse number="9">ජීවමාන දෙවියන් වහන්සේ වන මම මාගේ නාමයෙන් දිවුරා, මෝවබ්, සොදොම් මෙන් ද අම්මොන්, ගොමොරා මෙන් ද විනාශ කරමි. ඒ දෙරට කහඹිලියා හා ලුණු වළවල් ඇති බිමක් ද සදහට ම පාළු වූ ස්ථානයක් ද කරන්නෙමි. මාගේ සෙනඟ අතුරෙන් ඉතිරි ව සිටින අය ඒ දෙරට කොල්ලකන්නෝ ය. මාගේ ජාතීන්ගෙන් ඉතිරි වූ අය ඔවුන්ගේ රට උරුම කරගන්නෝ ය.”</verse>
				<verse number="10">ඒ ජාතිකයන්ගේ අහංකාරයත්, පාරට්ටුවත් නිසා ද සියලු බලැති දෙවියන් වහන්සේගේ සෙනඟට ඔවුන් නින්දාකළ නිසා ද ඔවුන්ට දඬුවම් පැමිණේ.</verse>
				<verse number="11">සමිඳාණන් වහන්සේ ඔවුන් තැතිගන්වන සේක; ලෝකයේ සියලු දෙවිවරුන් නැත්තට ම නැති කරන සේක. හැම ජාතීන්ගේ ම රටවල වැසියන් තම තමන්ගේ ස්ථානවල සිට උන් වහන්සේට නමස්කාර කරනු ඇත.</verse>
				<verse number="12">එතියෝපිවරුනි, නුඹලාත් මාගේ කඩුවෙන් මැරුම් කන්නහු ය.</verse>
				<verse number="13">සමිඳාණන් වහන්සේ සිය බලය මෙහෙයවා උතුරෙහි ඇති අසිරියාව විනාශ කොට, නිනිවය කාන්තාරයක් මෙන් දිය සීරාව නැති පාළුකරයක් කරනු ඇත.</verse>
				<verse number="14">හැම වර්ගයේ ගව මෘග ආදීන් එහි ලගිනු ඇත. එහි නටබුන් අතරේ බකමූණන් ලගින කවුළු තුළින් කරවැල් කොකා ද ඉත්තෑවා ද කෑකෝ ගසනු ඇත. එළිපත් මත කපුටන් කරව් කරනු ඇත. ගොඩනැඟිලිවල කිහිරි ලී බිඳ හෙළනු ඇත.</verse>
				<verse number="15">සිය ශක්තිය ගැන අහංකාරී වූ, ‘අනතුරින් තොර ය’යි සිතූ නගරයට සිදු වන දේ මෙය වේ. එහි වැසියෝ, ‘ලෝකයේ ඉතා ම උසස් නගරය මෙය ය’යි සිතූ හ. එහෙත්, එය කුමන විධියේ පාළුකරයක් වන්නේ ද? එය වන මෘගයන් ලගින ස්ථානයක් වන්නේ ය. ඒ අසලින් යන හැම දෙන ම අත් මිට මොළවා කවටකම් කරන්නෝ ය.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">කැරලිකාර, දූෂ්‍ය, සිය දේශයේ ම වැසියන්ට පීඩා කරන ජෙරුසලමට වන විපතක මහත!</verse>
				<verse number="2">ඈ සමිඳාණන් වහන්සේගේ හඬට සවන් නුදුන්නා ය; අවවාදය නොපිළිගත්තා ය. ඈ සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නේ වත්, ඇගේ දෙවියන් වහන්සේට ළං වුණේ වත් නැත.</verse>
				<verse number="3">ජෙරුසලමේ සිටින අධිපතීහු ගොරවන සිංහයෝ ය. ඇගේ විනිශ්චයකාරයෝ කෑදර වෘකයෝ ය. ඔව්හු පසු දිනට කිසිවක් ඉතිරි නොකරති.</verse>
				<verse number="4">එහි සිටින දිවැසිවරයෝ අහංකාර ද්‍රෝහි මනුෂ්‍යයෝ ය. පූජකයෝ ශුද්ධ දේ කෙලෙසති; ව්‍යවස්ථාව තමන්ගේ වාසියට පෙරළා ගනිති.</verse>
				<verse number="5">ඈ තුළ වැඩ සිටින සමිඳාණන් වහන්සේ ධර්මිෂ්ඨ ය. උන් වහන්සේ කිසි කලෙක වැරදි දේ නොකරන සේක. උදයක් උදයක් පාසා නොවරදවා ම උන් වහන්සේ සෙනඟ වෙත යුක්තිය ගෙන එන සේක. එහෙත්, අදමිටු අය විලි ලජ්ජා නැති ව අයුතු දේ ම කරති.</verse>
				<verse number="6">“මම ජාතීන් වනසාලීමි; ඔවුන්ගේ පවුරු නටබුන් වී ඇත; වීථිවල කිසිවකුට ගමන් නොකළ හැකි සේ ඒවා පාළු කෙළෙමි. ඔවුන්ගේ නගරවල කිසිවෙකු වත් නොවසන ලෙස ජන ශූන්‍ය වී ඇත.</verse>
				<verse number="7">මාගේ සෙනඟ මට බිය වී මාගේ උපදෙස් පිළිගනු ඇතැ යි මම බලාපොරොත්තුවෙන් සිටියෙමි. ඔවුන්ට මා ඉගැන්වූ පාඩම ඔවුන් කිසි කලෙක අමතක නොකරති යි මම සිතුවෙමි. එහෙත්, ඔව්හු වැඩි වැඩියෙන් දූෂ්‍ය ලෙස හැසුරුණෝ ය.</verse>
				<verse number="8">“එබැවින් ජාතීන්ට විරුද්ධ ව මා නැඟී චෝදනා කරන දවස වන තෙක් සිටින්න. මාගේ උදහසේ වේගය ඔවුන්ට දැනෙන පිණිස ජාතීන් ද රට රාජ්‍යයන් ද එක්රැස් කිරීමට මා තීරණය කර ඇත. මන්ද, මාගේ කෝපාග්නියෙන් මුළු පොළොව දැවී යන්නේ ය.</verse>
				<verse number="9">“එකල සියලු ජාතීන් සමිඳුන්ගේ නාමයෙන් යාච්ඤා කරමින් උන් වහන්සේට පමණක් එක සිතින් නමදින පිණිස මම ඔවුන්ට පිවිතුරු බසක් දෙන්නෙමි.</verse>
				<verse number="10">විසිරී ගොස් සිටින මාගේ සෙනඟ ඈත එතියෝපියාවෙන් වුව ද මා හට පඬුරු ගෙනෙනු ඇත.</verse>
				<verse number="11">ඒ කාලයේ දී, මාගේ සෙනඟ වන නුඹලා මට විරුද්ධ ව කළ ද්‍රෝහි ක්‍රියා නිසා ලජ්ජාවට පත් නොවන්නහු ය. මන්ද, අහංකාරි, අභිමානවත් සියලු දෙනා මම නුඹලා අතරෙන් පහ කරන්නෙමි. ඉන්පසු නුඹලා කිසි කලෙක මාගේ ශුද්ධ කන්දෙහි කැරලි නොගසන්නහු ය.</verse>
				<verse number="12">නිහතමානී, යටහත් පහත් සෙනඟක් නුඹලා අතර මම ඉතිරි කරන්නෙමි. ඔව්හු සමිඳාණන් වහන්සේගේ නාමයෙන් සරණ සොයා යන්නෝ ය.</verse>
				<verse number="13">ඉශ්රායෙල්හි ඉතිරි වන සෙනඟ තවත් අයුතුකම් නොකරන්නෝ ය; බොරු නොකියන්නෝ ය. වංචාව ඔවුන්ගේ කතාවෙහි නොවන්නේ ය. ඔවුන්ට සෞභාග්‍යය ද සුරක්ෂිතකම ද ඇති වන්නේ ය. කිසිවෙකු ඔවුන් බිය ගන්වන්නේ නැත.”</verse>
				<verse number="14">සියොන් පුරඟන, සොම්නසින් ගී ගයන්න; ජෙරුසලම් වැසියෙනි, කෑමොරගසන්න; ඉශ්රායෙල් ජනයෙනි, ප්‍රීති ප්‍රමෝද වන්න.</verse>
				<verse number="15">සමිඳාණෝ ඔබට විරුද්ධ ව තිබුණු නඩු තීන්දු අවලංගු කළ සේක; ඔබේ සතුරන් නෙරපාදැමූ සේක; ඉශ්රායෙල්හි රජ වන සමිඳාණෝ ඔබ සමඟ සිටින සේක. විපතට බිය වීමක් තවත් නැත.”</verse>
				<verse number="16">එදින ජෙරුසලම මෙසේ කියනු ඇත. “සියොන් නගරය, බිය නොවන්න; ඔබ අත දුබල වන්නට ඉඩ නාරින්න.</verse>
				<verse number="17">ඔබේ දෙවි සමිඳාණෝ ඔබ සමඟ ය; ඔබට ජය අත් කර දෙන සෙබළාණෝ ය. එතුමාණෝ ඔබ ගැන ප්‍රිය මනාප වන සේක; සිය පෙමින් ඔබට නව ජීවනයක් දෙන සේක; ඔබ ගැන සොම්නස් සිතින් ගී ගයන සේක;</verse>
				<verse number="18">මංගල දවසක් මෙන් ප්‍රීති වන සේක; ඔබ නින්දාව නොලබන පිණිස ඔබ අතර විනාශය පහකරන සේක.</verse>
				<verse number="19">ඒ කාලය පැමිණි විට නුඹට පීඩා කළ අයට මම දඬුවම් දෙන්නෙමි. කොරගසන අය මුදා හරින්නෙමි. වහල්කමට ගෙන ගිය අය රැස් කරන්නෙමි. ඔවුන් නින්දාව ලත් හැම රටවල ඔවුන්ට ප්‍රශංසාව හා කීර්තිය ලැබෙන්නට සලස්වන්නෙමි.</verse>
				<verse number="20">විසිර ගිය අය නැවත මවු බිමට ගෙනවුත් මා නුඹලාට මිහි පිට සියලු ජාතීන් අතර කීර්තියත්, ප්‍රශංසාවත් ලබා දී සෞභාග්‍යය ගෙන දෙන කාලය නුඹලා ම දෑසින් දකින්නහු ය.” මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ය.</verse>
			</chapter>
		</book>
		<book number="37">
			<chapter number="1">
				<verse number="1">දාරියුස් රජුගේ දෙ වන අවුරුද්දේ හය වන මාසයේ පළමු වන දා සමිඳාණන් වහන්සේ දිවැසිවර හග්ගයි මඟින් ෂෙයල්තියෙල්ගේ පුත් ජුදාහි ආණ්ඩුකාර සෙරුබ්බාබෙල් වෙතටත්, ජෙහෝශාදාක්ගේ පුත් උත්තම පූජක ජෝෂුවා වෙතටත් එවූ පණිවුඩය මෙය වේ.</verse>
				<verse number="2">“දේව මාලිගාව නැවත ගොඩනැඟීමට නිසි කාලය පැමිණ නැතැ යි මේ සෙනඟ කියති”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="3">එවිට මේ පණිවුඩය දිවැසිවර හග්ගයි මඟින් උන් වහන්සේ ප්‍රකාශ කළ සේක:</verse>
				<verse number="4">“මාගේ ජනයෙනි, මාගේ දේව මාලිගාව නටබුන් වී තිබිය දී නුඹලා මනහර මන්දිරවල ජීවත් වීම සුදුසු ද? දැන් ඉතින් සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.</verse>
				<verse number="5">නුඹලාගේ ජීවිත පිළිවෙළ ගැන සිතා බලන්න.</verse>
				<verse number="6">නුඹලා බොහෝ සේ වපුළ නමුත්, ලබාගත් අස්වැන්න සුළු ය. කන නමුත් තෘප්තියක් නුඹලාට නැත; බොන නමුත්, සෑහීමක් නැත. අඳින නමුත්, උණුසුමක් නැත. මුදල් හම්බ කරන්නා එය හම්බ කරන්නේ හිල් ඇති පසුම්බියකට දමන්නට ය.</verse>
				<verse number="7">සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. නුඹලාගේ ජීවිත පිළිවෙළ ගැන සිතා බලන්න.</verse>
				<verse number="8">කඳුකරයට ගොස් ලී ගෙනවුත්, මා ප්‍රසන්න වන පිණිස ද මට නිසි නමස්කාරය ලැබෙන පිණිස ද දේව මාලිගාව නැවත ගොඩනඟන්න.</verse>
				<verse number="9">“නුඹලා බොහෝ බලාපොරොත්තු වූ නමුත්, නුඹලාට ලැබුණේ ස්වල්පයකි. නුඹලා අස්වැන්න ගෙදර ගෙනා විට මම එය පිඹ දැම්මෙමි. මා එසේ කරන්නේ මන් ද? සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ මාලිගාව නටබුන් වී තිබිය දී ඒ ගැන නොසලකා නුඹලා එකිනෙකා තම තමාගේ ගෙවල් ගැන සැලකිලිමත් වන නිසා ය.</verse>
				<verse number="10">අහසින් වැසි නොවසින්නේත්, පොළොවෙන් පල හට නොගන්නේත් ඒ නිසා ය.</verse>
				<verse number="11">මා දේශය පිට ද කඳු හෙල් පිට ද නියඟයක් පමුණුවා ඇත; තෘණ භූමි ද මිදි වතු ද ඔලීව වතු ද හැම භවහෝග වගාවන් ද මිනිසුන් හා සිවුපාවුන් ද ඔවුන් කරන හැම වගාවන් ද පිට එය පමුණුවා ඇත.”</verse>
				<verse number="12">එවිට ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් ද ජෙහෝශාදාක්ගේ පුත් උත්තම පූජක ජෝෂුවා ද ඉතිරි වූ කුඩා පිරිස අතර සියල්ලෝ ද ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ නියම කළ දේ කළහ. ඔව්හු සමිඳාණන් වහන්සේට මහත් සේ ගරුබිය දැක්වූ හ; සමිඳාණන් වහන්සේගේ දූතයා වන දිවැසිවර හග්ගයිට කීකරු වූ හ.</verse>
				<verse number="13">එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා වන හග්ගයි, “මම ඔබ සමඟ සිටිමි; සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක; එය මාගේ පොරොන්දුව ය”යි සමිඳාණන් වහන්සේගේ පණිවුඩය සෙනඟට ප්‍රකාශ කෙළේ ය.</verse>
				<verse number="14">සමිඳාණන් වහන්සේ ජුදාහි ආණ්ඩුකාරයා වූ ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල්ගේ ද ජෙහෝශාදාක්ගේ පුත් උත්තම පූජක ජෝෂුවාගේ ද සෙනඟ අතර ඉතිරි වූ සියලු දෙනාගේ ද සිත් දිරිගැන්වූ සේක. තමන්ගේ සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේගේ ම මාලිගාව ගොඩනැඟීමට ඔව්හු පටන්ගත්හ.</verse>
				<verse number="15">මෙසේ පටන්ගනු ලැබුවේ දාරියුස් රජුගේ දෙ වන අවුරුද්දේ හය වන මාසයේ විසිහතර වන දා ය.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">එම අවුරුද්දේ ම හත් වන මාසයේ විසිඑක් වන දා සමිඳාණන් වහන්සේ දිවැසිවර හග්ගයි මඟින් කතා කළ සේක.</verse>
				<verse number="2">ජුදාහි ආණ්ඩුකාර වූ ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල්ටත්, ජෙහෝශාදාක්ගේ පුත් උත්තම පූජක වූ ජෝෂුවාටත් සෙනඟ අතර ඉතිරි වූ සියල්ලන්ටත් මෙසේ කියන්නට උන් වහන්සේ හග්ගයිට නියම කළ සේක:</verse>
				<verse number="3">“මේ දේව මාලිගාවේ මුලින් තිබූ තේජස දුටු යමෙක් නුඹලා අතරෙහි ඉතිරි ව සිටිත් ද? දැන් නුඹලාට මෙය පෙනෙන්නේ කෙසේ ද? මේ ගැන නුඹලාගේ ම සිතේ කැක්කුමක් නැද් ද?</verse>
				<verse number="4">එහෙත්, සෙරුබ්බාබෙල් ධෛර්යවත් වන්න. සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. අහෝ! උත්තම පූජක ජෝෂුවා, ජෙහෝශාදාක්ගේ පුත්‍රය, ධෛර්යවත් වන්න. දේශයේ සියලු වැසියෙනි, ධෛර්යවත් වන්න. වැඩ පටන් ගන්න; මම නුඹලා සමඟ සිටිමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="5">නුඹලා මිසරයෙන් පිට වී ආ කල මම නුඹලා සමඟ නිරන්තරයෙන් සිටින බවට පොරොන්දු දුන් ප්‍රකාරයට මාගේ ආත්මානුභාවය තවමත්, නුඹලා සමඟ ය. ඒ නිසා බිය නොවන්න.</verse>
				<verse number="6">සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නොබෝ කලකින් මම අහස සහ පොළොවත්, මුහුද සහ ගොඩබිමත් සොලවන්නෙමි. සියලු ජාතීන් ද සොලවන්නෙමි. ඔවුන්ගේ වස්තුව මෙහි ගලා එන්නේ ය.</verse>
				<verse number="7">***</verse>
				<verse number="8">සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේක. මම දේව මාලිගාව තේජසින් පුරවන්නෙමි. රිදී මාගේ ය; රන් ද මාගේ ය.</verse>
				<verse number="9">අලුත් දේව මාලිගාවේ තේජාලංකාරය පැරණි දේව මාලිගාවේ අලංකාරය ඉක්මවා යන්නේ ය. එහි මාගේ සෙනඟට සෞභාග්‍යයත්, ශාන්තියත් දෙන්නෙමි. මෙසේ පවසන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ වන මම ය.”</verse>
				<verse number="10">දාරියුස් රජුගේ දෙ වන අවුරුද්දේ නව වන මාසයේ විසිහතර වන දා සමිඳාණන් වහන්සේ නැවතත් දිවැසිවර හග්ගයිට කතා කළ සේක.</verse>
				<verse number="11">සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මේ ප්‍රශ්නය ගැන පූජකයන්ගෙන් තීරණයක් ඉල්ලන්න.</verse>
				<verse number="12">යමෙකු තමාගේ වස්ත්‍ර කෙළවරේ කැප කරන ලද මාංසය ගෙන යන විට ඒ වස්ත්‍ර කෙළවර රොටිවල හෝ පිදූ හොදිවල හෝ මිදියුසවල හෝ තෙල්වල හෝ වෙන‍යම් කෑමක හෝ ගෑවුණොත් ඒවා ඒ හේතුවෙන් කැප කළ ආහාර වන්නේ ද?” ඒ ප්‍රශ්නය ඇසූ විට පූජකයෝ, “නැතැ”යි පිළිතුරු දුන්හ.</verse>
				<verse number="13">නැවතත් හග්ගයි මෙසේ ඇසී ය: “මළමිනියක් ස්පර්ශ කිරීමෙන් අපවිත්‍ර වූ යම් කෙනෙකු ඒ ආහාර ස්පර්ශ කළොත් ඒවා අපවිත්‍ර වෙයි ද?” ඒ ප්‍රශ්නයට පූජකයෝ, “අපවිත්‍ර ය”යි පිළිතුරු දුන්හ.</verse>
				<verse number="14">එවිට හග්ගයි මෙසේ කී ය: “මේ දේ මේ සෙනඟටත්, මේ රටවැසි සියලු දෙනාටත්, ඔවුන් නිපදවන සියලු දේටත් අදාළ වන්නේ ය. ඔවුන් ඔප්පු කරන සෑම දේ ම අපවිත්‍ර වන්නේ ය යි ‍සමිඳාණන් වහන්සේ වදාරන සේක.”</verse>
				<verse number="15">“නුඹලාට මෙදින සිට ඉදිරි කාලයේ සිදු වන දේ ගැන මෙනෙහි කරන්න. මාලිගාවේ ගලක් පිට ගලක් තබන්න පෙර නුඹලාගේ තත්ත්වය මේ ය.</verse>
				<verse number="16">කිලෝග්‍රෑම් දෙසියයක් ලබන අදහසින් ධාන්‍ය ගොඩක් වෙත ගිය නමුත් නුඹලාට ලැබුණේ කිලෝග්‍රෑම් සියයක් පමණ ය. මිදියුස ලීටර් දෙසියයක් තටාකයකින් ඇදගන්න පිණිස ගිය විට ලැබුණේ සියයක් පමණ ය.</verse>
				<verse number="17">නුඹලා වගා කරන්න උත්සාහ කළ සියලු දේ විනාශ වන පිණිස මම ගොයම් රෝගය ද කොළ වියළීම ද ගල් වර්ෂාව ද එවීමි. එහෙත්, නුඹලා මා වෙත හැරුණේ නැතැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="18">නව වන මාසයේ විසිහතර වන දා වන, දේව මාලිගාවේ අත්තිවාරම් දැමූ මේ දවසේ දී නුඹලාට සිදු වී ඇති දේ ගැන හොඳට කල්පනා කර බලන්න.</verse>
				<verse number="19">අටුවල ධාන්‍ය ඉතිරි වී ඇද් ද? එසේ ම මිදි වැල්වලත් අත්තික්කා ගස්වලත් දෙළුම් ගස්වලත්, ඔලීව ගස්වලත් පල හටගෙන ඇද් ද? නැත. අද පටන් මම නුඹලාට ආශීර්වාද කරන්නෙමි.”</verse>
				<verse number="20">එම දවසේ දී ම එනම්, එම මාසයේ විසිහතර වන දා සමිඳාණන් වහන්සේ හග්ගයිට දෙ වන වරට පණිවුඩයක් දෙමින් මෙසේ වදාළ සේක:</verse>
				<verse number="21">“ජුදාහි ආණ්ඩුකාරයා වන සෙරුබ්බාබෙල්ට මෙසේ කියන්න, ‘මම අහසත් පොළොවත් සොලවන්න යන්නෙමි.</verse>
				<verse number="22">රාජ්‍යයන්ගේ සිහසුන් පෙරළාදමා, ජාතීන්ගේ ආණ්ඩු බලය නැති කරන්නෙමි. මම රථ සහ ඒවායේ නැඟී යන්නන් පෙරළා දමන්නෙමි, අශ්වයන් මරන්නෙමි. උන් පිට යන්නෝ එකිනෙකා තම තමා කඩුවෙන් මරාගනිති.’</verse>
				<verse number="23">සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. එම දවසේ දී මාගේ සේවක ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල්, මම නුඹ මාගේ පේරැස් මුද්ද මෙන් කරන්නෙමි. මා තෝරාගත් තැනැත්තා නුඹ ය. මෙසේ වදාරන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ ය.”</verse>
			</chapter>
		</book>
		<book number="38">
			<chapter number="1">
				<verse number="1">දාරියුස් රජුගේ දෙ වන අවුරුද්දේ අට වන මාසයේ දී සමිඳාණන් වහන්සේ ඉද්දෝගේ පුත්‍ර වන බෙරෙකියාගේ පුත්‍ර වූ දිවැසිවර සෙකරියාට වදාළ පණිවුඩය මෙය වේ.</verse>
				<verse number="2">සියලු බලැති සමිඳාණන් වහන්සේ සෙකරියාට කතා කොට සෙනඟට මෙසේ ප්‍රකාශ කරන ලෙස වදාළ සේක: “ස්වාමීන් වන මම, නුඹලාගේ මුතුන්මිත්තන් ගැන ඉතා අප්‍රසන්න වීමි.</verse>
				<verse number="3">එබැවින් සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ යි කියන්න. ‘මා වෙත හැරී එන්න. මම ද නුඹලා වෙත හැරී එන්නෙමි.</verse>
				<verse number="4">නුඹලාගේ මුතුන්මිත්තන්ට සමාන නොවන්න. පෙර සිටි දිවැසිවරු ඔවුන් අමතා, ‘නුඹලාගේ නපුරු මාර්ගවලින් ද නපුරු ක්‍රියාවලින් ද හැරෙන්නැ’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ කියන සේකැ’යි ඔවුන්ට මොරගැසූ හ. ඔවුන් එයට සවන් දුන්නේ වත්, ඒ ගැන සැලකුවේ වත් නැත.</verse>
				<verse number="5">නුඹලාගේ මුතුන්මිත්තෝ දැන් කොහේ ද? ඒ දිවැසිවරු සදාකාලයට ම සිටිත් ද?</verse>
				<verse number="6">ඔවුන් දැන් නැති වුවත් මාගේ මෙහෙකරු දිවැසිවරුන් මඟින් මා ප්‍රකාශ කළ මාගේ වචනත්, නියෝගත් නුඹලාගේ මුතුන්මිත්තන් කෙරෙහි බලපෑවේ නැද් ද?” ඒ නිසා ඔව්හු පසුතැවී සිත් හරවා ගෙන, “සියලු බලැති සමිඳාණන් වහන්සේ ඉටාගත් පරිදි අපේ කල්ක්‍රියාව අනුව අපට දඬුවම් කළ සේකැ”යි කීවෝ ය.</verse>
				<verse number="7">දාරියුස් රජුගේ දෙ වන අවුරුද්දේ, ෂෙබාට් නම් එකොළොස් වන මාසයේ විසිහතර වන දා දර්ශනයක් මඟින් සමිඳාණන් වහන්සේ මේ පණිවුඩය මට දුන් සේක.</verse>
				<verse number="8">බලන්න, රාත්‍රි කාලයේ රතු අශ්වයෙකු පිට නැඟී සිටි මිනිසෙක් මට දර්ශනය විය. මිටියාවතේ තිබුණු රටමරඳ ගස් අතරේ ඔහු නතර වී සිටියේ ය. ඔහු පිටිපස්සේ රතු පාට, දුඹුරු පාට හා සුදු පාට අශ්වයෝ සිටියහ.</verse>
				<verse number="9">“ස්වාමීනි, මේ අශ්වයන් මෙහි සිටීමේ තේරුම කුමක් දැ”යි මම ඇසීමි. මා සමඟ කතා කළ දූතයා පිළිතුරු දෙමින්, “එහි තේරුම, මම නුඹට පහදා දෙමි”යි කීවේ ය.</verse>
				<verse number="10">එවිට, “සමිඳාණන් වහන්සේ මේ අශ්වාරෝහකයන් එවා ඇත්තේ පො‍ළොව පරීක්ෂා කර බලන පිණිස ය”යි රටමරඳ ගස් අතර සිටි මිනිසා කීවේ ය.</verse>
				<verse number="11">ඔව්හු රටමරඳ ගස් අතරේ සිටි සමිඳාණන් වහන්සේගේ දූතයාට පිළිතුරු දෙමින්, “අපි පො‍ළොව සැරිසරා, මුළු පො‍ළොව ම නිශ්කලංක ව, නිශ්චල ව තිබෙන බව දුටිමු”යි සැළ කළහ.</verse>
				<verse number="12">එවිට, “සියලු බලැති සමිඳාණන් වහන්ස, සැත්තෑ වසක් තුළ උන් වහන්සේගේ උදහසට ලක් වූ ජෙරුසලමට හා ජුදාහි නගරවලට තව කොපමණ කල් අනුකම්පා නොකර සිටින සේක් දැ”යි සමිඳාණන් වහන්සේගේ දූතයා ඇසී ය.</verse>
				<verse number="13">සමිඳාණන් වහන්සේ මා සමඟ කතා කළ දූතයාට යහපත්, පැහැදිලි වචනවලින් පිළිතුරු දුන් සේක.</verse>
				<verse number="14">මා සමඟ කතා කළ දේව දූතයා මෙසේ කී ය: “කෑමොරගසන්න, සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. ජෙරුසලමට හා සියොන්ට මම ඉමහත් ප්‍රේමයකින් ප්‍රේම කරමි.</verse>
				<verse number="15">එහෙත්, සැප ජීවිකාවෙන් කල් යවන ජාතීන් කෙරෙහි මම අධික ලෙස උදහස් වී සිටිමි. මාගේ සෙනඟට මා දැක්වූ උදහස සුළු ව තිබිය දී මේ ජාතීහු මාගේ සෙනඟට මා සිතුවාට වඩා පීඩා කළහ. ඒ නිසා සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.</verse>
				<verse number="16">අනුකම්පාව දක්වන පිණිස මම ජෙරුසලමට නැවත පැමිණ සිටිමි; මාගේ මාලිගාව නැවත ගොඩනඟනු ලැබේ. ඒ නගරය ප්‍රතිසංස්කරණය කරනු ලැබේ.</verse>
				<verse number="17">“කෑමොරගසන්න, මාගේ නගරය නැවත යසඉසුරෙන් පිරී යන්නේ ය. සියොන් නැවත සනසා, ජෙරුසලම තම තමන්ගේ ම නගරය කරගනු ලබන්නේ ය කියා සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.”</verse>
				<verse number="18">මා හිස ඔසවා බැලූ විට සතුන්ගේ අං සතරක් මට දර්ශනය විය.</verse>
				<verse number="19">“එහි තේරුම කුමක් දැ”යි මා සමඟ සිටි දේව දූතයාගෙන් මම ඇසීමි. ඔහු පිළිතුරු දෙමින්, “මේවා ජුදා, ඉශ්රායෙල් හා ජෙරුසලම විසුරුවාදැමූ ලෝක බලවත්තු සතරදෙනා ය”යි කීවේ ය.</verse>
				<verse number="20">එවිට සමිඳාණන් වහන්සේ මට කම්මල්කාරයන් සතරදෙනෙකු පෙන්වූ සේක.</verse>
				<verse number="21">“මොවුන් අවුත් සිටින්නේ කුමට දැ”යි මම ඇසීමි. උන් වහන්සේ පිළිතුරු දෙමින්, “කිසිවෙකු නැවත නොනැඟිටින ලෙස ජුදා රට විසුරුවාදැමූ ජාතීහු මොවුහු වෙති. ඔවුන් පැමිණෙන්නේ, ඒ ජාතීන් බිය ගන්වා ජුදා රට විසුරුවාදමන්නට බලය යෙදූ ජාතීන් මැඩලීමට ය”යි වදාළ සේක.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">මා හිස ඔසවා බැලූ විට සිය අතේ මනින ලණුවක් ඇති මිනිසෙක් මට දර්ශනය විය.</verse>
				<verse number="2">“ඔබ කොහේ යනවා දැ”යි මම ඔහුගෙන් ඇසීමි. “ජෙරුසලම මැන, එය කොපමණ දිග ද කියාත්, කොපමණ පළල ද කියාත් බලන පිණිස මම යමි”යි ඔහු පිළිතුරු දුන්නේ ය.</verse>
				<verse number="3">එවිට මා සමඟ කතා කළ දූතයා පිටත් ව යනවාත්, වෙන දූතයෙකු ඔහුගේ පෙරමඟට එනවාත් මම දිටිමි.</verse>
				<verse number="4">ඔහු පළමු දූතයාට මෙසේ කී ය: “ඔබ දුව ගොස් අර තරුණයාට කතා කොට මෙසේ කියන්න: ජෙරුසලම පවුරකින් සීමා නොකළ හැකි නගරයක් වනු ඇත. මන්ද, එහි ජනගහණය ද ගවමහිෂයන් ද වැඩි වන්නට යන නිසා ය.</verse>
				<verse number="5">‘මම ඒ වටා පවුරක් වෙමි. ඒ තුළ තේජාලංකාරයෙන් වැඩ සිටින්නෙමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.”</verse>
				<verse number="6">“එන්න, එන්න, උතුරු දේශයේ සිට පලා එන්න. මම නුඹලා සතර දිග් භාගයෙහි සුළං මෙන් විසුරුවා හරිමි”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="7">“බබිලෝනියෙහි වාසය කරන නුඹලා සියොන් නගරයට බේරී එන්න.”</verse>
				<verse number="8">මේ දර්ශනවලින් පසු සියලු බලැති සමිඳාණන් වහන්සේ තමන්ගේ සෙනඟ කොල්ලකෑ ජාතීන් වෙත තේජාන්විත සේවය සඳහා මා යවමින් මෙසේ වදාරන සේක:</verse>
				<verse number="9">“යම් ජාතියක් නුඹලාට පහර දුන්නොත්, එය සමිඳාණන් වහන්සේගේ ඇස් මෙන් වටිනා දෙයට පහරදීමකි. මම ඔවුන්ට විරුද්ධ ව සටන් කරන්නෙමි. එක් කලෙක නුඹලා වහල් ව සිටි සෙනඟ නුඹලා විසින් කොල්ලකනු ලබති. මෙසේ සිදු වූ විට සියලු බලැති සමිඳාණන් වහන්සේ මා එවූ බව නුඹලා දැනගනු ඇත.</verse>
				<verse number="10">“සියොන් පුරඟන, ප්‍රීතියෙන් ගී ගයන්න. මම නුඹලා සමඟ වාසය කරන පිණිස එන්නෙමි යි කියා සමිඳාණන් වහන්සේ වන මම කියමි.”</verse>
				<verse number="11">ඒ කාලයේ දී බොහෝ ජාතීහු සමිඳාණන් වහන්සේට එක් වී උන් වහන්සේගේ සෙනඟ වන්නෝ ය. උන් වහන්සේ ඔවුන් සමඟ වැඩවසන සේක. එවිට උන් වහන්සේ ඔබ වෙත මා එවූ බව ඔබ දැනගන්නහු ය.</verse>
				<verse number="12">නැවත වරක් සමිඳාණන් වහන්සේ ශුද්ධ කන්දෙහි ජුදා රට තමන්ගේ ම විශේෂ උරුමයක් කරගෙන, ජෙරුසලම තමන්ගේ ප්‍රියතම නුවර කරගන්න සේක.</verse>
				<verse number="13">සියලු මනුෂ්‍ය ජාතීනි, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්ද වන්න. උන් වහන්සේ ස්වකීය ශුද්ධස්ථානයෙන් නැඟිට වඩින සේක.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">උත්තම පූජක ජෝෂුවා සමිඳාණන් වහන්සේගේ දූතයා ඉදිරියේ සිටිනවාත්, ජෝෂුවාගේ දකුණු පැත්තේ ඔහුට විරුද්ධ ව චෝදනා නඟන පිණිස සාතන් සූදානමින් සිටිනවාත් සමිඳාණන් වහන්සේ මට පෙන්වූ සේක.</verse>
				<verse number="2">සමිඳාණන් වහන්සේගේ දූතයා සාතන් අමතා, “සාතන්, සමිඳාණන් වහන්සේ නුඹට තරවටු කරන සේක් වා! ජෙරුසලමට ප්‍රිය කරන සමිඳාණන් වහන්සේ නුඹට තරවටු කරන සේක් වා! මොහු ගින්නෙන් ඇදගත් ගිනි පෙනෙල්ලක් නොවේ දැ”යි කී ය.</verse>
				<verse number="3">ජෝෂුවා වනාහි කිළුටු ඇඳුම් හැඳගෙන දේව දූතයා ඉදිරියෙහි සිටියේ ය.</verse>
				<verse number="4">“කිළුටු ඇඳුම් ඔහුගෙන් ඉවත් කරන්නැ”යි දේව දූතයා තමා පිරිවරා සිටි අයට කී ය. ඉන්පසු, “මම නුඹේ පව් පහ කෙළෙමි. නුඹට මංගල ඇඳුම් පළඳවමි”යි ජෝෂුවාට කී ය.</verse>
				<verse number="5">“ඔහුගේ හිසේ ශෝභන මකුටයක් තබන්නැ”යි නියම කෙළේ ය. එසේ ඔව්හු සමිඳාණන් වහන්සේගේ දූතයා බලා සිටිය දී, ශෝභන මකුටයක් ඔහුගේ හිසේ තබා, මංගල ඇඳුම් ඔහුට පැළඳෙව්වෝ ය.</verse>
				<verse number="6">එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ජෝෂුවාට අනුශාසනා කරමින්,</verse>
				<verse number="7">“සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි කී ය. “නුඹ මාගේ ආඥාවලට කීකරු වී මා නුඹට නියම කරන යුතුකම් ඉටු කරන්නෙහි නම්, මාගේ මාලිගාවේ හා එහි මණ්ඩපයේ භාගය නුඹට අයත් වන්නේ ය. මා ඉදිරියෙහි සිටින අයගේ අයැදුම්වලට සවන් දෙන්නාක් මෙන් මම නුඹේ අයැදුම්වලට ද සවන් දෙන්නෙමි.</verse>
				<verse number="8">ජෝෂුවා, උත්තම පූජක වන නුඹ ද සහකාර පූජකයන් වන නුඹලා ද සවන් දෙන්න. නුඹලා වනාහි මංගල පෙර නිමිති ය. ‘පැළෑටිය’ වන මාගේ මෙහෙකරුවා පැමිණෙන්නට සලස්වන්නෙමි.</verse>
				<verse number="9">ඇස් සතක් ඇති ගලක් ජෝෂුවා ඉදිරියේ මම තබමි. ඒ පිට මම ලේඛනයක් කොටා මේ දේශයේ පාපය එක දවසකින් පහ කරන්නෙමි.</verse>
				<verse number="10">ඒ දවස පැමිණි විට නුඹලාගේ මිදිවැල් හා අත්තික්කා ගස් යට නුඹලා එකිනෙකාට සංග්‍රහ කරනු ඇතැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">මා සමඟ කතා කළ දේව දූතයා නැවත අවුත්, නින්දෙන් පුබුදු කරනු ලබන්නෙකු මෙන් මා පුබුදුවා,</verse>
				<verse number="2">“නුඹට කුමක් පෙනේ දැ”යි මාගෙන් ඇසී ය. මම පිළිතුරු දෙමින්, “මුළුමනින් ම ස්වර්ණමය වූ පහන් රුකක් මට පෙනෙයි. එහි මුදුනේ පහන් සතකින් යුත් තෙල් දැමිය යුතු භාජනයක් ඇත. එහි මුදුනේ එක එක පහනේ තිරවලට නළ සතක් ඇත.</verse>
				<verse number="3">ඒ ළඟ ඔලීව ගස් දෙකක් ඇත. එකක් වම් පැත්තෙන් ද අනික දකුණු පැත්තෙන් ද වේ ය”යි කීවෙමි.</verse>
				<verse number="4">“මාගේ ස්වාමීනි, මේවායෙහි තේරුම කුමක් දැ”යි මම දේව දූතයාගෙන් යළි ඇසීමි.</verse>
				<verse number="5">“නුඹ දන්නේ නැද්දැ”යි ඔහු ඇසී ය. “නැත, ස්වාමීනි”යි මම පිළිතුරු දිනිමි.</verse>
				<verse number="6">එකල දේව දූතයා මට කතා කරමින්, “සෙරුබ්බාබෙල්ට සමිඳාණන් වහන්සේගේ මේ පණිවුඩය දෙන්නැ”යි කී ය. එය මෙසේ ය: “නුඹට ජය අත් වන්නේ සේනා බලයෙන් වත්, සිය ශක්තියෙන් වත් නොව, මාගේ ආත්මානුභාවයෙන් ය.</verse>
				<verse number="7">විශාල කන්දක් වුවත් නුඹ ඉදිරියේ සමතලා වන්නේ ය. දේව මාලිගාව නැවත ගොඩනඟා, ‘කදිම ය, කදිම ය’ කියා කෑගසන අතර එහි මුල් ගල නුඹ තබන්නෙහි ය.”</verse>
				<verse number="8">සමිඳාණන් වහන්සේගෙන් තවත් පණිවුඩයක් මා වෙත පැමිණියේ ය.</verse>
				<verse number="9">එය මෙසේ ය: “සෙරුබ්බාබෙල් දේව මාලිගාවේ අත්තිවාරම් දමා ඇත. ඔහු ම ගොඩනැඟිල්ල නිම කරනු ඇත. මෙය සිදු වූ විට මාගේ සෙනඟ වෙත මා නුඹ යැවූ බව ඔවුන් දැනගනු ඇත.</verse>
				<verse number="10">කුඩා පටන්ගැන්ම හෙළා දකින්නට යමෙක් වේ ද? ගොඩනැඟිල්ලේ කටයුතු පමා ව ඇති නිසා ඔව්හු කලකිරී සිටිති. ඔව්හු සෙරුබ්බාබෙල්ගේ අතේ මුල් ගල ඇති බව දකින විට ප්‍රීති වන්නෝ ය.” දේව දූතයා මට කතා කොට, “පහන් සත නම් පො‍ළොවේ සියලු දිශාවන් දකින සමිඳාණන් වහන්සේගේ ඇස් සත ය”යි කී ය.</verse>
				<verse number="11">එවිට මම, “පහන් රුක දෙපැත්තේ ඇති ඔලීව ගස් දෙකෙන් කුමක් අදහස් කෙරේ දැ”යි ඇසීමි.</verse>
				<verse number="12">“ඔලීව තෙල් ගලා එන රන් නළ දෙක අසල ඇති ඔලීව අතු දෙකෙන් කුමක් අදහස් කෙරේ දැ”යි දෙ වන වරටත් ඇසීමි.</verse>
				<verse number="13">“නුඹ දන්නේ නැද්දැ”යි ඔහු මාගෙන් ඇසී ය. “නැත, ස්වාමීනි”යි මම පිළිතුරු දිනිමි.</verse>
				<verse number="14">එවිට ඔහු පිළිතුරු දෙමින්, “මේ දෙකෙන් අදහස් කරන්නේ මුළු පො‍ළොවේ සමිඳාණන් වහන්සේට සේවය කරන පිණිස දෙවියන් වහන්සේ විසින් තෝරාගෙන අභිෂේක කරන ලද දෙදෙනා ය”යි කී ය.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">මම නැවත බැලූ විට පියාඹන පො‍තක් දිටිමි.</verse>
				<verse number="2">“නුඹට කුමක් පෙනේ දැ”යි දේව දූතයා මාගෙන් ඇසූ විට, “මීටර් නවයක් දිග මීටර් හතරහමාරක් පළල පියාඹන පො‍තක් මට පෙනේ ය”යි මම කීමි.</verse>
				<verse number="3">එවිට ඔහු මෙසේ කීවේ ය: “මුළු දේශය පුරා පැතිරී යන සාපය මෙය වේ. එක පැත්තක සොරකම් කරන සියල්ලෝ නෙරපනු ලබන්නෝ ය කියා ද අනෙක් පැත්තේ බොරුවට දිවුරන්නෝ නෙරපනු ලබන්නෝ ය කියා ද මෙහි ලියා ඇත.</verse>
				<verse number="4">සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන පරිදි උන් වහන්සේ මේ සාපය එවන සේක. එවිට එය හැම සොරෙකුගේ ද බොරුවට දිවුරන හැම කෙනෙකුගේ ද නිවෙසට ඇතුළු වන්නේ ය. එය ඒ නිවෙස්වල රැඳී එහි සිටින සියල්ලන් ද එහි ලී දඬු ද ගඩොල් ද විනාශ කර දමන්නේ ය.”</verse>
				<verse number="5">දේව දූතයා නැවතත් ඉදිරියට අවුත්, “හිස ඔසවා බලන්න. දැන් පිටතට එන දේ දෙස බලන්නැ”යි කී ය.</verse>
				<verse number="6">“එය කුමක් දැ”යි මම ඇසීමි. ඔහු පිළිතුරු දෙමින්, “එය භාජනයකි. මුළු දේශයේ පාපය එයින් අදහස් කෙරේ”යි කී ය.</verse>
				<verse number="7">ඒ භාජනය ඊයම් පියනකින් වසා තිබිණි. මා බලා සිටිය දී ඊයම් පියන ඔසවනු ලැබී ය. භාජනය තුළ ස්ත්‍රියක් වාඩි වී සිටියා ය.</verse>
				<verse number="8">“මේ ස්ත්‍රිය වනාහි දුෂ්ටකමේ මූර්තිය ය”යි දේව දූතයා මට කී ය. ඉන්පසු ඒ ස්ත්‍රිය නැවත භාජනය තුළට තල්ලු කරදමා, ඔහු එය පියනෙන් වැසුවේ ය.</verse>
				<verse number="9">මම හිස ඔසවා බැලූ විට ස්ත්‍රීන් දෙදෙනකු මා දෙසට එනවා දිටිමි. කණ කොකාගේ පියාපත් වැනි පියාපත් ඔවුන්ට තිබිණි. ඔවුන්ගේ ඒ පියාපත්වලට සුළං බැඳී ය. ඔව්හු අහසත්, පො‍ළොවත් අතරේ ඒ භාජනය උසුලාගෙන ගියෝ ය.</verse>
				<verse number="10">“ඔවුන් එය කොහේ ගෙන යනවා දැ”යි මට කතා කළ දූතයාගෙන් මම ඇසීමි.</verse>
				<verse number="11">“ඔවුන් එය ගෙන යන්නේ ෂිනාර් දේශයට ය; එහි දේවාලයක් සාදන පිණිස ය; එය තනා නිම වූ විට ඒ භාජනය එහි තබනු ලබන්නේ ය”යි කී ය.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">මම හිස ඔසවා බැලූ විට කඳු දෙකක් අතරෙන් රථ සතරක් පිට වී එනවා දිටිමි. ඒ කඳු ලෝකඩ කඳු ය.</verse>
				<verse number="2">පළමු වන රථයට රතු අශ්වයෝ ද දෙ වැන්නට කළු අශ්වයෝ ද</verse>
				<verse number="3">තුන් වැන්නට සුදු අශ්වයෝ ද සතර වැන්නට පුල්ලි ඇති දුඹුරු පාට අශ්වයෝ ද යොදා සිටියෝ ය.</verse>
				<verse number="4">“ස්වාමීනි, මේ රථවලින් කුමක් අදහස් කෙරේ දැ”යි මට කතා කළ දේව දූතයාගෙන් මම ඇසීමි.</verse>
				<verse number="5">දේව දූතයා මට පිළිතුරු දෙමින් මෙසේ කී ය: “මේ වනාහි මුළු පො‍ළොවේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පෙනී සිට, පිටත් ව යන අහසේ සුළං සතර ය.</verse>
				<verse number="6">“කළු අශ්වයන් බැඳ සිටි රථය උතුරු දේශයටත්, සුදු අශ්වයන් බැඳ සිටි රථය බටහිරටත්, පුල්ලි ඇති අශ්වයන් බැඳ සිටි රථය දකුණු දේශයටත් දුඹුරු අශ්වයන් බැඳ සිටි රථය නැගෙනහිරටත් යන්නේ ය.”</verse>
				<verse number="7">අශ්වයන් පිටතට ආ විට පො‍ළොව පරීක්ෂා කර බැලීමට ඔවුන්ට ඉවසිල්ලක් නො වී ය. “ගොස් පො‍ළොව පරීක්ෂා කර බලන්නැ”යි දේව දූතයා කී ය. ඔව්හු එසේ කළහ.</verse>
				<verse number="8">එවිට දේව දූතයා මහා හඬින් මට කතා කොට, “උතුරු දේශයට ගිය අශ්වයන් සමිඳාණන් වහන්සේගේ උදහස උතුරු දේශයේ සංසිඳුවා ඇතැ”යි කී ය.</verse>
				<verse number="9">සමිඳාණන් වහන්සේ මේ පණිවුඩය මට දුන් සේක.</verse>
				<verse number="10">“විප්‍රවාසයට ගෙනගිය, බබිලෝනියේ සිට පැමිණි හෙල්දයිගෙන් ද ටෝබියාගෙන් ද ජෙදායාගෙන් ද නුඹ රන් රිදී ලබාගෙන, එම දවසේ දී ම ශෙපනියාගේ පුත් ජොෂියාගේ ගෙදරට යන්න.</verse>
				<verse number="11">ඔවුන්ගෙන් නුඹ ලබාගත් රන් රිදීවලින් ඔටුන්නක් සාදා, ජෙහෝශාදාක්ගේ පුත්, උත්තම පූජකයා වන ජෝෂුවාගේ හිසේ පළඳවා</verse>
				<verse number="12">‘සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ’යි ඔහුට කියන්න. ‘පැළෑටිය’ කියා නම් කරන ලද තැනැත්තා මොහු ය. ඔහු මේ ස්ථානයේ වර්ධනය වී සමිඳාණන් වහන්සේගේ මාලිගාව නැවත ගොඩනඟන්නේ ය.</verse>
				<verse number="13">ඔහු ඒ දේව මාලිගාව ගොඩනඟා රජ කෙනෙකුට හිමි මහිමය ලැබ සිංහාසනයේ වැඩහිඳ ආණ්ඩු කරන්නේ ය. ඔහුගේ සිංහාසනය ළඟ පූජකයෙක් සිටින්නේ ය. ඔවුන් දෙදෙනා ම සමඟි සාමයෙන් එකට වැඩ කරනු ඇත.’</verse>
				<verse number="14">ඒ ඔටුන්න වනාහි, හෙල්දියාගේ ද ටෝබියාගේ ද ජෙදායාගේ ද ජොෂියාගේ ද ගෞරවාන්විත සිහිවටනයක් සේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ තබා තිබේ.</verse>
				<verse number="15">දුර බැහැර අය පැමිණ සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනැඟීමට උදව් වන්නෝ ය. එවිට සියලු බලැති සමිඳාණන් වහන්සේ මා නුඹලා වෙත එවූ බව නුඹලා දැනගන්නහු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණට නුඹලා මුළුමනින් කීකරු වන්නහු නම් මෙසේ සිදු වනු ඇත.”</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">දාරියුස් රජුගේ සතර වන අවුරුද්දේ කිස්ලෙව් නම් නව වන මාසයේ සතර වන දා සමිඳාණන් වහන්සේ සෙකරියාට පණිවුඩයක් දුන් සේක.</verse>
				<verse number="2">බෙතෙල්හි වැසියෝ ශරෙෂෙර් ද රෙගෙම්මොලෙක් ද ඔවුන්ගේ මිනිසුන් ද සමිඳාණන් වහන්සේ ඉදිරියේ කන්නලව් කරන්න යැව්වෝ ය.</verse>
				<verse number="3">සර්ව පරාක්‍රම සියලු බලැති සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පූජකයන්ගෙන් ද දිවැසිවරුන්ගෙන් ද මෙසේ ප්‍රශ්න කරන්න ඔවුන්ට නියම විය: “මෙපමණ අවුරුදු ගණනක් තිස්සේ අප කළාක් මෙන් තවදුරටත් හැම පස් වන මාසයේ දී ම වැලපෙමින් උපවාස පැවැත්වීම අප කරගෙන යා යුතු ද?”</verse>
				<verse number="4">සියලු බලැති සමිඳාණන් වහන්සේ මට මේ පණිවුඩය දුන් සේක:</verse>
				<verse number="5">“දේශයේ සෙනඟටත් පූජකයන්ටත් කතා කොට, ඔවුන් මේ අවුරුදු සැත්තෑව තුළ දී පස් වන හා සත් වන මාසවල උපවාස පවත්වා වැලපෙමින් උපවාස කෙළේ මා උදෙසා ද?</verse>
				<verse number="6">තවද, ඔවුන් කෑවේත්, බීවේත් ඔවුන්ගේ ම සන්තුෂ්ටිය උදෙසා නොවේ ද?</verse>
				<verse number="7">ජෙරුසලම සෞභාග්‍යයෙන් හා ජනගහණයෙන් පිරී, ඒ නගරය අවට නගර ද දකුණු දිශාව ද පහත පළාත ද ජනාවාස වී තිබුණු කාලයේ දී පවා සමිඳාණන් වහන්සේ කලින් සිටි දිවැසිවරුන් මඟින් කීවේත් මෙය නොවේ දැ යි කියන්න.”</verse>
				<verse number="8">සමිඳාණන් වහන්සේ මේ පණිවුඩය සෙකරියාට දුන් සේක:</verse>
				<verse number="9">“සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘අවංක ලෙස විනිශ්චය කරන්න. එකිනෙකාට කරුණාව ද අනුකම්පාව ද පෙන්වන්න.</verse>
				<verse number="10">වැන්දඹුවන්ට හා අනාථයන්ටත් විදේශීන්ටත් පීඩා නොකරන්න. නුඹලා එකිනෙකාට හිංසා කිරීමට කූට උපායයන් යොදා නොගන්න.”</verse>
				<verse number="11">“එහෙත්, ඔව්හු එයට සවන් දෙන්න අකමැති වූ හ. ඔව්හු මුරණ්ඩුකම දැක් වූ හ. නොඇසෙන පිණිස කන් වසා ගත්තෝ ය.</verse>
				<verse number="12">ඔව්හු ඔවුන්ගේ සිත් ගල් මෙන් දැඩි කරගෙන, සියලු බලැති සමිඳාණන් වහන්සේ සිය ආත්මානුභාවය කරණකොටගෙන ආදියේ සිටි දිවැසිවරුන් මඟින් දෙවා වදාළ ඉගැන්වීම්වලට සහ පණිවුඩවලටත් සවන් නුදුන්හ. ඒ නිසා සියලු බලැති සමිඳාණන් වහන්සේ අතිශයින් උදහස් වූ සේක.</verse>
				<verse number="13">‘මා අඬගසන කල ඔවුන් සවන් නුදුන් නිසා, ඔවුන් අඬගසන කල මම පිළිතුරු නොදෙන්නෙමි’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="14">‘සුළි සුළඟකින් මෙන් මම ඔවුන් විදේශීය රටවල විසුරුවාදැමීමි. ඒ දේශයට යන එන කෙනෙකු නැති නිසා එය පාළු විය. නුඹලා යහපත් දේශය පාළුකරයක් කළහු ය’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.”</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">සියලු බලැති සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මා වෙත පැමිණියේ ය.</verse>
				<verse number="2">සියලු බලැති සමිඳාණන් වහන්සේ පැවසූ පණිවුඩය මෙසේ ය: “සියොන් වැසියන් උදෙසා මම දැවෙන සෙනෙහසකින් ප්‍රේම කරමි. මේ ප්‍රේමය නිසා ඔවුන්ගේ සතුරන් කෙරෙහි මම උදහස් වීමි.</verse>
				<verse number="3">ජෙරුසලමෙහි සියොන් කන්දට ආපසු පැමිණ මම එහි වැඩ වාසය කරන්නෙමි. ජෙරුසලම විශ්වාසවන්ත නගරය වශයෙන් ද සියලු බලැති දෙවියන් වහන්සේගේ කන්ද ශුද්ධ කන්ද වශයෙන් ද ප්‍රසිද්ධ වන්නේ ය.</verse>
				<verse number="4">වයෝවෘද්ධ වූ බැවින් සැරයටි වාරුවෙන් ඇවිදින මහල්ලෝ ද මැහැල්ලෝ ද ජෙරුසලමේ වීථිවල වාඩි වන්නෝ ය.</verse>
				<verse number="5">නගරයේ වීථි සෙල්ලම් කරන බාලක බාලිකාවන්ගෙන් පිරී යන්නේ ය.</verse>
				<verse number="6">“මේ රටේ දැන් ඉතිරි ව සිටින අයට ඒ දවස්වල දී එය පුදුමයක් ව පෙනුණත් මටත් එය පුදුමයක් ව පෙනේ දැ”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ අසන සේක.</verse>
				<verse number="7">සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නැගෙනහිර හා බස්නාහිර සිටින මාගේ සෙනඟ මුදාගෙන ජෙරුසලමේ ජීවත් වන පිණිස මම ඔවුන් ආපසු ගෙනෙන්නෙමි.</verse>
				<verse number="8">ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි.”</verse>
				<verse number="9">සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මාගේ මාලිගාව යළි ගොඩනඟන පිණිස අත්තිවාරම දැමූ දා සිට දිවැසිවරයා කී මේ වචන දැනුත් අසන නුඹලා ධෛර්යවත් වන්න.</verse>
				<verse number="10">ඊට පෙර දවස්වල දී මිනිසුන් හෝ ගවයන් හෝ කුලියට ලබාගැනීමට කිසිවෙකුට වත්කමක් නො වී ය. සතුරු උවදුරුවලට ගොදුරු නොවී ගමන්බිමන් යාමට කිසිවෙකුට නොහැකි විය. අසල්වැසියන් එකිනෙකාට විරුද්ධ ව සිටින්න මම සැලැස්වීමි.</verse>
				<verse number="11">එහෙත්, මම දැන් මේ රටේ ඉතිරි ව සිටින අයට පෙර මෙන් ක්‍රියා නොකරමි යි සියලු බලැති සමිඳාණන් වහන්සේ කියන සේක.</verse>
				<verse number="12">ඔවුන් සාමදානයෙන් බීජ වපුරනු ඇත. මිදි වැල්වල පල හටගන්වනු ඇත; භූමියෙන් අස්වැන්න ලැබෙනු ඇත; ඇති පමණට වැසි වසිනු ඇත. මේ සියලු ආසිරි මම මාගේ දේශයේ ඉතිරි ව සිටින අයට දෙන්නෙමි.</verse>
				<verse number="13">ජුදෙව් ජනයෙනි, ඉශ්රායෙල් ජනයෙනි, කලින් නුඹලා ජාතීන් අතරේ සාපයක් ව සිටි නමුත්, ආශීර්වාදයක් වන ලෙස මම නුඹලා මුදන්නෙමි. බිය නොවන්න. ධෛර්යවත් වන්න.”</verse>
				<verse number="14">සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නුඹලාගේ මුතුන්මිත්තන් මා උදහස් කළ විට ඔවුන් පිට විපත්තිය පමුණුවන්නට මම සිතට ගතිමි. මාගේ සිත මම වෙනස් නොකෙළෙමි.</verse>
				<verse number="15">එහෙත්, දැන් ජෙරුසලමට හා ජුදා වැසියන්ට ආශීර්වාද කරන්න මම සිතට ගෙන සිටිමි. ඒ නිසා බිය නොවන්න.</verse>
				<verse number="16">නුඹලාගේ යුතුකම් මේවා ය. එකිනෙකාට සත්‍යය කතා කරන්න. උසාවිවල දී සාමය සැලසෙන ලෙස නියම යුක්තිය ඉෂ්ට කරන්න.</verse>
				<verse number="17">එකිනෙකාට හිංසා කිරීමට කූට උපායයන් යොදා නොගන්න. දිවුරුමක් පිට බොරු සාක්ෂි නොකියන්න. මන්ද, මේ සියල්ල මම හෙළා දකිමි යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.”</verse>
				<verse number="18">සියලු බලැති සමිඳාණන් වහන්සේ මේ පණිවුඩය මට දුන් සේක.</verse>
				<verse number="19">සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සතර වන, පස් වන, සත් වන හා දස වන මාසවල පවත්වනු ලැබූ උපවාස උත්සව ජුදාහි සෙනඟට ප්‍රීති ප්‍රමෝදය ගෙන දෙන මංගල උත්සව වන්නේ ය. එබැවින් නුඹලා සත්‍යයටත්, සාමයටත් ඇලුම්වන්න.”</verse>
				<verse number="20">සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “බලවත් රටවලින් හා බලවත් නගරවලින් සෙනඟ ජෙරුසලමට එන කාලය පැමිණෙන්නේ ය.</verse>
				<verse number="21">එක නගරයක සෙනඟ තවත් නගරයක සෙනඟ අමතා, ‘සියලු බලැති සමිඳාණන් වහන්සේ අයැද, උන් වහන්සේගේ ආසිරි පතන පිණිස අපි යන්නෙමු; අප සමඟ එන්නැ’යි කියනු ඇත.</verse>
				<verse number="22">විශාල සෙනඟක් ද බලසම්පන්න ජාතීහු ද සියලු බලැති සමිඳාණන් වහන්සේ අයැද උන් වහන්සේට ආසිරි පතන පිණිස ජෙරුසලමට පැමිණෙන්නෝ ය.</verse>
				<verse number="23">ඒ දවස්වල දී විදේශීහු දසදෙනෙක් ජුදෙව්වෙකු වෙත පැමිණ, ඔහුගේ වස්ත්‍ර කොන අල්ලාගෙන, දෙවියන් වහන්සේ ඔබ සමඟ සිටින බව අපි අසා ඇති බැවින් ඔබ සමඟ යන්න අපි කැමැත්තෙමු යි කියන්නෝ ය.”</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">මෙය දිව්‍ය ප්‍රකාශනය වේ: “සමිඳාණන් වහන්සේගේ පණිවුඩය හද්‍රාක් දේශයටත්, දමස්කස් නගරයටත් විරුද්ධ ව පැමිණ ඇත. ඉශ්රායෙල්හි සියලු ගෝත්‍ර පමණක් නොව, ආරාම්හි අග නුවරත් සමිඳාණන් වහන්සේට අයිති ය.</verse>
				<verse number="2">හද්‍රාක් දේශයට යාව ඇති හමාත් ද නොයෙක් ශූර නුවණ ඇති තීර් සහ සීදොන් ද උන් වහන්සේට අයිති ය.</verse>
				<verse number="3">තීර් වනාහි බලකොටු සාදාගෙන ධූලි ගොඩ ගසන්නාක් මෙන් රිදී ද වීථිවල කුණු කසළ ගොඩ ගසන්නාක් මෙන් රන් ද රැස් කරගත්තේ ය.</verse>
				<verse number="4">එහෙත්, සමිඳාණන් වහන්සේ එහි ඇති සියලු දේ පැහැරගෙන එහි ඇති වස්තුව මුහුදට හෙළා දමන සේක. එය ගින්නෙන් විනාශ වන්නේ ය.</verse>
				<verse number="5">“අෂ්කෙලොන් නගරය ඒ දැක බිය වන්නී ය. ගාසාත් ඒ දැක කම්පා වන්නී ය. එක්‍රොන්ට ද එසේ ම සිදු වී බලාපො‍රොත්තු ශූන්‍ය වන්නේ ය. ගාසාවෙහි රජ විනාශ වන්නේ ය. අෂ්කෙලොන් ජන ශූන්‍ය පෙදෙසක් වන්නේ ය.</verse>
				<verse number="6">අෂ්දොද්හි අවජාතක සෙනඟක් වාසය කරන්නෝ ය. මම පිලිස්තිවරුන්ගේ ඔද බිඳදමන්නෙමි.</verse>
				<verse number="7">ඔව්හු ලේ සහිත මාංස වත්, තහනම් කරන ලද කෑම වත් තවත් අනුභව නොකරන්නෝ ය. ඔව්හු ද ඉතිරි ව සිටින සියලු දෙනා සමඟ දෙවියන් වහන්සේගේ සෙනඟ වන්නෝ ය; ඔව්හු ජුදාහි ගෝත්‍රයක් මෙන් වන්නෝ ය; එක්‍රොන්වරු ද ජෙබුසියයන් මෙන් වන්නෝ ය.</verse>
				<verse number="8">එවිට මම මාගේ දේශය ආරක්ෂා කොට ඒ මැදින් යුද්ධ හමුදාවලට යන්න ඉඩ නොදෙන්නෙමි. ඔවුන්ට පීඩා කරන්න කිසිවෙකුට ඉඩ නොදෙන්නෙමි. මාගේ සෙනඟගේ දුක මම දිටිමි.”</verse>
				<verse number="9">සියොන් පුරඟන, ප්‍රීති ප්‍රමෝද වන්න; ජෙරුසලම් පුරඟන සොම්නස් හඬ නඟන්න. ඔබේ රජතුමාණෝ ඔබ වෙත වඩින සේක. එතුමාණෝ, ජයාන්විත විජයශ්‍රීයෙන් පැමිණෙන සේක. යටහත් සිතින් කොටළුවෙකු පිට නැඟ, එසේ ය, කොටළු දෙනකගේ පැටවෙකු පිට නැඟ පැමිණෙන සේක.</verse>
				<verse number="10">මම එප්‍රායිම් කෙරෙන් රථය ද ජෙරුසලමෙන් අශ්වයන් ද සිඳදමන්නෙමි. යුද්ධ දුන්න ද කපා හරිනු ලැබේ. උන් වහන්සේ ජාතීන්ට සාමදානය ප්‍රකාශ කරන සේක. උන් වහන්සේගේ ආණ්ඩුව මුහුදෙන් මුහුදටත් යුප්‍රටීස් ගංගාවේ පටන් පො‍ළොවේ සීමා දක්වාත් වන්නේ ය.</verse>
				<verse number="11">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ලෙයින් මුද්‍රා කරන ලද, නුඹ සමඟ කළ, මාගේ ගිවිසුම නිසා මම නුඹේ සෙනඟ වතුර නැති වළෙන් නිදහස් කරන්නෙමි.</verse>
				<verse number="12">පිටුවහල් වී සිටින්නෙනි, දැන් නුඹලාට බලාපො‍රොත්තු තිබෙන නිසා, නුඹලාගේ ආරක්ෂා ස්ථානයට පැමිණෙන්න. නුඹලා විඳි දුක්වලට වන්දි වශයෙන් නුඹලාට දෙගුණයක් ආශීර්වාද මා දෙන බව ප්‍රකාශ කරමි.</verse>
				<verse number="13">මම ජුදා රට දුන්නක් මෙන් ද එප්‍රායිම් ඊතල මෙන් ද සූදානම් කරගෙන සිටිමි. ග්‍රිසියේ ජනයාට විරුද්ධ ව සටන් කරන පිණිස මම සියොන්හි ජනයා රණශූරයකුගේ කඩුවක් මෙන් යොදාගන්නෙමි.</verse>
				<verse number="14">“එවිට සමිඳාණන් වහන්සේ ඔවුන්ට ඉහළින් පෙනෙන සේක. උන් වහන්සේගේ ඊතලය විදුලිය මෙන් විහිදෙන්නේ ය. දෙවි ස්වාමීන් වහන්සේ සිය හොරණෑව පිඹ දකුණු දිශාවේ සුළිසුළං සමඟ ඉදිරියට වඩින සේක.</verse>
				<verse number="15">සියලු බලැති සමිඳාණන් වහන්සේ සිය සෙනඟ ආරක්ෂා කොට, ඔවුන්ගේ සතුරන් ගල් පටියේ ගල් මෙන් පාගා දමන සේක. ඔව්හු මිදියුස මෙන් ලේ බොන්නෝ ය. සතුරන් මරාදමන්නෝ ය. ඔවුන්ගේ ලේ පූජාසනයේ කොන්වල නෙරා ගිය අං පෙඟී තිබෙන පරිදි ද භාජනයකින් ලේ උතුරා යන පරිදි ද ඔව්හු ලේවලින් වෙරිමත් වී සිටින්නෝ ය.</verse>
				<verse number="16">ඒ දවස පැමිණි විට, එඬේරෙකු සිය රැළ ආරක්ෂා කරන ලෙස උන් වහන්සේ තමන්ගේ සෙනඟ ආරක්ෂා කරන සේක. ඔටුන්නක ඇති මැණික් මෙන් උන් වහන්සේගේ දේශයේ ඔව්හු බබළන්නෝ ය.</verse>
				<verse number="17">එසේ ය, එය කොපමණ සාරවත්, අලංකාරවත් දේශයක් වන්නේ ද! ධාන්‍යයෙන් එහි වෙසෙන තරුණයෝ ද මිදියුසෙන් එහි වෙසෙන තරුණියෝ ද ශක්ති සම්පන්න වන්නෝ ය.”</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">වසන්ත කාලයට වර්ෂාව එවන ලෙස සමිඳාණන් වහන්සේගෙන් අයැදින්න. සියලු දෙනා සඳහා කුඹුරු සාරවත් කරමින් වැසි වලාකුළු ද වර්ෂාව ද එවන්නේ සමිඳාණන් වහන්සේ ය.</verse>
				<verse number="2">පිළිම අයැදීමෙන් මිනිසුන්ට නිසරු බොරු පිළිතුරු ලැබෙන නිසා ද පේන කියන්නන් මිනිසුන් නොමඟ යවන නිසා ද ස්වප්න දකින්නන් හිස් සැනසිල්ලක් ගෙන දෙන නිසා ද සෙනඟ බැටළුවන් මෙන් ඉබාගාතේ ඇවිදිති. එඬේරෙකු නැති නිසා ම ඔව්හු දුකට පත් වී සිටිති.</verse>
				<verse number="3">“එඬේරුන්ට විරුද්ධ ව මාගේ උදහස ඇවිළී තිබේ. මම ඔවුන්ගේ මූලිකයන්ට දඬුවම් කරමි. එබැවින් සියලු බලැති සමිඳාණන් වහන්සේ ජුදාහි සෙනඟ වන බැටළු රැළ ආරක්ෂා කරන සේක. ඔව්හු උන් වහන්සේගේ බලවත් යුද්ධ අශ්වයන් මෙන් වන්නෝ ය.</verse>
				<verse number="4">මුදුන් ගල වැනි පාලකයන් ද ඇබ වැනි මූලිකයන් ද යුද්ධ දුනු වැනි නිලධාරීන් ද සියලු අධිපතීන් ද ඒ දේශයෙන් නික්මෙනු ඇත.</verse>
				<verse number="5">වීථිවල ඇති මඩෙහි සතුරන් පාගා දමන බලවත් හේවායන් මෙන් ජුදාහි සෙනඟ ජයග්‍රාහකයෝ වන්නෝ ය. සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ සිටින නිසා ඔව්හු සටන් කොට සතුරු අශ්වාරෝහකයන් වුව ද පරාජය කරන්නෝ ය.</verse>
				<verse number="6">මම ජුදාහි සෙනඟ බලවත් කර, ජෝසෙප්ගේ සෙනඟට ජය අත් කර දෙන්නෙමි. ඔවුන්ට අනුකම්පා කරන නිසා මම ඔවුන් ආපසු ගෙනෙන්නෙමි. ඔව්හු වනාහි, මා විසින් කිසි කලෙක ප්‍රතික්ෂේප නොකරන ලද සෙනඟක් මෙන් වන්නෝ ය. මම ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ය. ඔවුන්ගේ අයැදුම්වලට මම පිළිතුරු දෙන්නෙමි.</verse>
				<verse number="7">එප්‍රායිම් සෙනඟ බලවන්ත හේවායෙකු මෙන් වන්නෝ ය. ඔවුන් මිදියුස පානය කළ අය මෙන් ප්‍රීති වනු ඇත. ඔවුන්ගේ දරු පරම්පරාව මේ ජයග්‍රහණය සිහි කොට ප්‍රීති වන්නෝ ය. සමිඳාණන් වහන්සේ කෙරෙහි ඔව්හු සන්තෝෂ වන්නෝ ය.</verse>
				<verse number="8">මම මාගේ සෙනඟ කැඳවා ඔවුන් එක්රැස් කරන්නෙමි. මම ඔවුන් ගළවා ඔවුන්ගේ සංබ්‍යාව පෙර මෙන් වැඩි කරන්නෙමි.</verse>
				<verse number="9">මා ඔවුන් ජාතීන් අතරේ විසුරුවා හරින නමුත්, ඔවුන් දුර බැහැර රටවල දී මා සිහි කොට, ඔවුන්ගේ දරුවන් සමඟ ජීවත් ව සිට ආපසු හැරී එනු ඇත.</verse>
				<verse number="10">මම ඔවුන් මිසරයෙන් නැවත ගෙනෙන්නෙමි; අසිරියාවෙන් ඔවුන් රැස් කර ගිලියද් දේශයටත්, ලෙබනොන්ටත් පමුණුවන්නෙමි; මුළු දේශය සෙනඟගෙන් පිරී ඉතිරී යන්නේ ය.</verse>
				<verse number="11">ඔවුන් විපත්තිය නමැති මුහුද මැදින් යන විට, මම මුහුදේ තරංගවලට පහර දෙන්නෙමි. එවිට නයිල් ගංගාවේ පත්ල වියළී යන්නේ ය. අසිරියාවේ අහංකාරය පහත් කරනු ලබන්නේ ය; මිසරයේ ජයකොන්තය නැති වී යන්නේ ය;</verse>
				<verse number="12">ඔවුන්ගේ ශක්තිය සමිඳාණන් වහන්සේ කෙරෙහි ය. ඔව්හු උන් වහන්සේට කීකරු වන්නෝ ය.” මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ ය.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">“එම්බා ලෙබනොන්, ඔබේ කිහිරි ගස් ගින්නෙන් දැවී යන පිණිස ඔබේ දොරවල් අරින්න.</verse>
				<verse number="2">දේවදාර ගස් කෑමොරගසන්න; මන්ද, කිහිරි ගස් වැටී ඇත; ඒ තේජාන්විත ගස් විනාශ වී ඇත. බාෂාන්හි ආලෝන ගස් කෑමොරගසන්න; මන්ද, ඝන වනාන්තරය වනසාදමනු ලැබුවේ ය.</verse>
				<verse number="3">සවන් දෙන්න, පාලකයන්ගේ තේජස පහවී ගොස් ඇති බැවින්, ඔව්හු දුක් බරින් කෑමොරගසති. ජොර්දාන්හි වනය පාළු වී ඇති බැවින් තරුණ සිංහයන්ගේ ගෙරවීමේ හඬ අසන්න.”</verse>
				<verse number="4">මාගේ දෙවි සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “මරනු ලබන්න නියම ව සිටින බැටළු රැළෙහි එඬේරා වන්න.</verse>
				<verse number="5">ඔවුන් මිලේට ගන්න අය ඔවුන් මරන නමුත්, ඔව්හු දඬුවම් නොලබන්නෝ ය. ඔවුන් විකුණන අය, ‘සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! අපි දැන් පො‍හොසත් ය’යි කියති. ඔවුන්ගේ ම එඬේරු වුව ද ඔවුන්ට අනුකම්පා නොකරති.”</verse>
				<verse number="6">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම දේශයේ වැසියන්ට තවත් අනුකම්පා නොකරමි. මම හැම මිනිසෙකු ම ඔහුගේ එඬේරා වන පාලකයාට හා රජුගේ බලයට පාවා දෙමි. මොවුහු දේශය නැතිනාස්ති කරති. ඔවුන්ගේ බලයෙන් මම කිසිවෙකු බේරා නොගනිමි.</verse>
				<verse number="7">“ඒ නිසා බැටළුවන් මිලේට ගෙන විකුණන අය උදෙසා මම ඔවුන් තර කෙළෙමි. ඒ නිසා මම මරණයට නියම ව සිටි බැටළු රැළේ එඬේරා වීමි. මම සැරයටි දෙකක් රැගෙන, එකකට ‘ප්‍රසාදය’ කියා ද අනෙකට ‘සමගිය’ කියා ද නම් තබා බැටළු රැළ ආරක්ෂා කෙළෙමි.</verse>
				<verse number="8">මට ද්වේෂ කළ එඬේරුන් තිදෙනෙකු ගැන මට ඉවසාගත නොහැකි ව එක මාසයක් ඇතුළත දී ඔවුන් නැසුවෙමි.</verse>
				<verse number="9">එවිට මම බැටළු රැළට කතා කොට, ‘මම තවත් නුඹලාගේ එඬේරා නොවන්නෙමි, නසින අය නසිත් වා! වැනසෙන අය වැනසෙත් වා! ඉතිරි අය එකිනෙකාගේ මාංස කාදමත් වා’යි කීමි.</verse>
				<verse number="10">එවිට මම සියලු ජාතීන් සමඟ කළ ගිවිසුම අවලංගු කරන පිණිස ‘ප්‍රසාදය’ නමැති සැරයටිය ගෙන කඩා දැමුවෙමි.</verse>
				<verse number="11">එසේ ය, ඒ දවසේ දී ගිවිසුම අවලංගු කරන ලදී. බැටළුවන් මිලේට ගෙන විකුණන අය මා කළ දේ දැක, ඒ ක්‍රියාව මඟින් සමිඳාණන් වහන්සේ කතා කරන බව තේරුම්ගත්හ.</verse>
				<verse number="12">මම ඔවුන් අමතා, ‘මට කුලිය දෙන්න යුතු යයි නුඹලාට සිතේ නම් එය දෙන්න, නැත්නම් එය තබා ගන්නැ’යි කීමි. එවිට ඔව්හු මට රිදී කාසි තිහක් කුලී වශයෙන් කිරා දුන්හ.</verse>
				<verse number="13">‘ඒ මුදල දේව මාලිගාවේ භාණ්ඩාගාරයෙහි දමන්නැ’යි සමිඳාණන් වහන්සේ මට වදාළ සේක. මම ද, මාගේ වටිනාකම වශයෙන් ඔවුන් මිල කළ අගේ ඇති ඒ රිදී මිල තිහ දේව මාලිගාවේ භාණ්ඩාගාරයෙහි දැමීමි.</verse>
				<verse number="14">ඉන්පසු ජුදා හා ඉශ්රායෙල් අතරේ පැවති සමගිය බිඳෙන බව පෙන්වන පිණිස, ‘සමගිය’ යන නම ඇති සැරයටිය කැඩීමි.”</verse>
				<verse number="15">එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “නුඹ නැවතත් පලක් නැති එඬේරෙකුගේ උපකරණ අරගන්න.</verse>
				<verse number="16">මම මේ දේශයට මෙවැනි එඬේරෙකු එවන්නෙමි. ඔහු විනාශයට ගොදුරු වූවන් ගැන සලකන්නේ වත්, නැති වූවන් සොයන්නේ වත්, තුවාළ වූවන් සුව කරන්නේ වත්, නොමැරී ඉතිරි වූවන්ට කෑම දෙන්නේ වත් නැත. ඒ වෙනුවට ඔහු ඉතා තර බැටළුවාගේ මස් කා උගේ කුර පවා උදුරා දමන්නේ ය.</verse>
				<verse number="17">රැළ අත්හැර ගිය ඒ පලක් නැති එඬේරාට වන විපතක මහත! යුද්ධය කරණකොටගෙන ඔහුගේ අතට සහ දකුණු ඇසට පහර වැදෙන්නේ ය. ඔහුගේ අත් වියළී යන්නේ ය; ඇස් ද අන්ධ වන්නේ ය.”</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ගැන කරන දිව්‍ය ප්‍රකාශනය මෙය වේ. අහස මැවූ, පො‍ළොවේ අත්තිවාරම දැමූ, මනුෂ්‍යයා තුළ ආත්මානුභාවය පිහිටෙවූ සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:</verse>
				<verse number="2">“ජෙරුසලම, ඒ අවට ජාතීන් වෙරිමත් කරවන කුසලානක් සේ කරන්නෙමි. ඒ ජාතීන් ජෙරුසලම වටලන විට ජුදාහි සෙසු නගර ද වටලනු ලැබේ.</verse>
				<verse number="3">මම ඒ දවස පැමිණි විට සියලු ජාතීන්ට ජෙරුසලම බර ගලක් මෙන් කරන්නෙමි. එය උස්සන්න යන ජාතිය බොහෝ සේ තුවාළ ලබන්නේ ය. ලෝකයේ සියලු ජාතීහු එයට විරුද්ධ ව එක්රැස් වෙති.</verse>
				<verse number="4">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. ඒ කාලයේ දී මම සියලු අශ්වයන් බිය ගන්වා අසරුවන් වියරු වැටෙන්න සලස්වන්නෙමි. එහෙත්, මම ජුදාහි සෙනඟ රැක බලාගෙන ඔවුන්ගේ සතුරන්ගේ අශ්වයන් අන්ධ කරන්නෙමි.</verse>
				<verse number="5">එවිට ජුදාහි ගෝත්‍ර තම තමන් කතා කර ගනිමින්, ‘සියලු බලැති සමිඳාණන් වහන්සේ ජෙරුසලමේ වසන සිය සෙනඟට ශක්තිය දෙන සේකැ’යි කියනු ඇත.</verse>
				<verse number="6">“ඒ කාලයේ දී මම ජුදාහි ගෝත්‍රයන් වනලැහැබක නොහොත් ගොයම් ඇති කුඹුරක ගිනි හුලක් මෙන් ද පිදුරු මිටි අතර ගිනි පෙනෙල්ලක් මෙන් ද කරන්නෙමි. ඔව්හු සියලු ජාතීන් හාත්පසින් ම විනාශ කරන්නෝ ය. ජෙරුසලමේ සෙනඟ සිය නගරයෙහි සුරැකි ව සිටින්නෝ ය.</verse>
				<verse number="7">“දාවිත්ගේ වංශයට හිමි මහිමය ද ජෙරුසලමේ වැසියන්ට ලැබෙන මහිමය ද ජුදාහි සෙසු කොටසට වඩා උසස් නොවන පිණිස මම පළමුකොට ජුදාවට ජය අත් පත් කර දෙන්නෙමි.</verse>
				<verse number="8">ඒ කාලයෙහි සමිඳාණන් වහන්සේ ජෙරුසලමේ වැසියන් ආරක්ෂා කරන සේක: ඔවුන් අතරෙහි සිටින දුබලයා පවා දාවිත් මෙන් ප්‍රබල වන්නේ ය. දාවිත්ගේ වංශය ද දෙවියන් වහන්සේ මෙන් ද සමිඳාණන් වහන්සේගේ දූතයා මෙන් ද ඔවුන්ට මඟ පෙන්වන්නේ ය.</verse>
				<verse number="9">ඒ කාලයේ දී මම ජෙරුසලමට පහර දෙන්න උත්සාහ කරන හැම ජාතියක් ම විනාශ කරන්නෙමි.”</verse>
				<verse number="10">“මම දාවිත්ගේ වංශයට ද ජෙරුසලමේ සෙනඟට ද කරුණාවේ හා අයැදීමේ සිතක් දෙන්නෙමි. ඔව්හු තමන් විසින් ඇන තුවාළ කරන ලද්දා වූ තැනැත්තා දෙස බලා, නැති වූ එක ම පුත්‍රයා ගැන වැලපෙන අය මෙන් වැලපෙන්නෝ ය; එක ම පුත්‍රයා ගැන ශෝක වන්නාක් මෙන් ශෝක වන්නෝ ය.</verse>
				<verse number="11">ඒ කාලයේ දී මෙගිද්දෝ සමභූමියෙහි දී හදද්-රිම්මොන් ගැන වැලපෙන්නාක් මෙන් ජෙරුසලමේ වැලපීම මහත් වන්නේ ය.</verse>
				<verse number="12">දේශයෙහි එක එක ගෝත්‍ර වෙන් වෙන් වශයෙන් වැලපෙනු ඇත. දාවිත්ගේ පෙළපතින් පැවත එන පුරුෂයෝ ද ඔවුන්ගේ භාර්යාවෝ ද වෙන් වෙන් වශයෙන් වැලපෙන්නෝ ය. නාතාන්ගේ ගෝත්‍රයෙන් පැවත එන පුරුෂයෝ ද ඔවුන්ගේ භාර්යාවෝ ද වෙන් වෙන් වශයෙන් වැලපෙන්නෝ ය.</verse>
				<verse number="13">ලෙවීගේ පෙළපතින් පැවත එන පුරුෂයෝ හා ඔවුන්ගේ භාර්යාවෝ ද, ෂිමෙයි පෙළපතින් පැවත එන පුරුෂයෝ හා ඔවුන්ගේ භාර්යාවෝ ද</verse>
				<verse number="14">සෙසු සියලු ගෝත්‍රවල අය ද ඔවුන්ගේ භාර්යාවෝ ද වෙන් වෙන් වශයෙන් වැලපෙන්නෝ ය.”</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ කාලයේ දී පාපය හා රූප වන්දනාවෙන් දාවිත්ගේ ගෝත්‍රය ද ජෙරුසලමේ වැසියන් ද පවිත්‍ර කරන පිණිස උල්පතක් ඇරෙන්නේ ය.</verse>
				<verse number="2">ඒ කාලයේ දී දේව රූපවල නම් තවත් සිහි නොවන පරිදි මම ඒ රූප දේශයෙන් බැහැර කරන්නෙමි. බොරු දිවැසිවරුන් ද පහ කරදමා, මම රූප වන්දනාවේ ආශාව නැති කරදමන්නෙමි.</verse>
				<verse number="3">තවදුරටත් දිවැස් දෙසීමට යමෙක් තැත් කරයි නම්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන්, ඔහු ජනිත කළ පියාත්, මවත්, ‘නුඹ ජීවත් නො විය යුතු ය. මන්ද සමිඳාණන් වහන්සේගේ නාමයෙන් නුඹ බොරු පවසන්නෙහි ය’යි කියමින් ඔහුට ඇන මරන්නෝ ය.</verse>
				<verse number="4">ඒ කාලයේ දී සෑම දිවැසිවරයෙක් තමා දකින දර්ශන ගැන ලජ්ජා වන්නේ ය; දිවැසිවරයෙකු සේ අඳින්නේ වත්, තමා දිවැසිවරයෙකු යයි කියාගන්නේ වත් නැත.</verse>
				<verse number="5">ඒ වෙනුවට ඔහු, ‘දිවැසිවරයෙකු නොව මම ගොවියෙක්මි; මම බාල වියෙහි සිට ම ගොවිකම් කෙළෙමි’යි කියන්නේ ය.</verse>
				<verse number="6">‘නුඹේ පිටේ තිබෙන ඔය තුවාළ මොනවා දැ’යි යමෙකු ඔහුගෙන් ඇසුවොත්, ‘ඒවා මාගේ මිත්‍රයාගේ ගෙදර දී මා ලැබූ තුවාළ ය’යි ඔහු කියන්නේ ය.”</verse>
				<verse number="7">සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “එම්බා කඩුව! පිබිද මාගේ එඬේරාට එනම්, සහකාර මිනිසාට පහර දෙන්න; එඬේරාට පහර දෙන්න. එවිට බැටළු රැළ විසිර යනු ඇත. මාගේ දුබල වූවන්ට මම පහර දෙන්නෙමි.</verse>
				<verse number="8">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. සෙනඟගෙන් තුනෙන් දෙකොටසක් මැරෙනු ඇත. එක කොටසක් ජීවත් වනු ඇත. දේශය මුළුල්ලෙහි මෙය සිදු වනු ඇත.</verse>
				<verse number="9">එහෙත්, ඉතිරි තුන් වන කොටස මම ගින්නෙහි දමන්නෙමි; රිදී පවිත්‍ර කරන්නාක් මෙන් ඔවුන් පවිත්‍ර කරන්නෙමි; රන් උරගා බලන්නාක් මෙන් ඔවුන් උරගා බලන්නෙමි. ඔවුන් මාගේ නාමයෙන් මට යාච්ඤා කරන විට මම ද ඔවුන්ට පිළිතුරු දෙන්නෙමි. ‘ඔව්හු මාගේ සෙනඟ ය’යි මම ඔවුන්ට කියන්නෙමි; ‘සමිඳාණන් වහන්සේ මාගේ දෙවියන් වහන්සේ ය’යි ඔව්හු මට කියන්නෝ ය.”</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">සමිඳාණන් වහන්සේ ක්‍රියා කරන දවස පැමිණෙන්නේ ය. එකල ඔබ කොල්ලකනු ලැබ කොල්ලය ඔබේ ඇස් හමුයෙහි බෙදනු ලැබේ.</verse>
				<verse number="2">ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කරන පිණිස සමිඳාණන් වහන්සේ සියලු ජාතීන් එක්රැස් කරන සේක. නගරය අල්ලාගනු ලැබේ; ගෙවල් කොල්ලකනු ලැබේ; ස්ත්‍රීහු දූෂණය කරනු ලබති; සෙනඟගෙන් දෙකෙන් කොටසක් වහල්කමට ගෙනයනු ලබන අතර, ඉතිරි කොටස නුවරින් පිටත ගෙනයනු නොලබති.</verse>
				<verse number="3">සමිඳාණන් වහන්සේ ඉදිරියට ගොස් පසුගිය කාලයෙහි යුද්ධ කළ පරිදි ඒ ජාතීන්ට විරුද්ධ ව යුද්ධ කරන සේක.</verse>
				<verse number="4">ඒ කාලයේ දී ජෙරුසලමට නැගෙනහිරෙන් පිහිටි ඔලීව කන්ද මත සමිඳාණන් වහන්සේ වැඩහිඳින සේක. එකල ඔලීව කන්ද නැගෙනහිර සිට බටහිර දෙසට දෙපළු වී මැදින් මහත් මිටියාවතක් මතු වන්නේ ය. කන්දෙන් භාගයක් උතුරු දෙසටත්, අනෙක් භාගය දකුණු දෙසටත් වෙන් වී යන්නේ ය.</verse>
				<verse number="5">නුඹලා ද මාගේ කන්දේ මිටියාවත මැදින් බේරී පලා යන්නහු ය. මන්ද, ඒ මිටියාවත කන්දෙන් එහා පැත්ත දක්වා ඇත. ජුදාහි රජ වූ උශ්ශියාගේ කාලයේ දී භූමිකම්පාවක් ඇති වූ විට නුඹලාගේ මුතුන්මිත්තන් පලා ගිය පරිදි නුඹලාත් පලා යන්නහු ය. එවිට මාගේ දෙවි සමිඳාණන් වහන්සේ සියලු ශුද්ධවන්තයන් පිරිවරා වඩින සේක.</verse>
				<verse number="6">ඒ කාලයේ දී උෂ්ණය වත්, ශීත වත් ඇති නොවන්නේ ය.</verse>
				<verse number="7">දවාලත්, රැයත් නොවී, සවස් වේලාවට එළිය ඇත්තා වූ, සමිඳාණන් වහන්සේ පමණක් දන්නා වූ, එක්තරා දවසක් පැමිණෙන්නේ ය.</verse>
				<verse number="8">ඒ කාලයේ දී පිරිසිදු වතුර ජෙරුසලමෙන් ගලා අවුත් එයින් භාගයක් මළ මුහුදටත්, ඉතිරි කොටස මධ්‍යධරණි මුහුදටත් ගලා යන්නේ ය. අවුරුද්ද මුළුල්ලේ ඒ වතුර ගලන්නේ ය.</verse>
				<verse number="9">එකල සමිඳාණන් වහන්සේ මුළු ලෝකයේ රාජයාණෝ වන සේක. සියලු දෙන උන් වහන්සේ දෙවියන් වහන්සේ වශයෙන් නමදිනු ඇත. එක ම නමකින් උන් වහන්සේ හඳුන්වනු ලබන සේක.</verse>
				<verse number="10">උතුරේ ගෙබා සිට දකුණේ රිම්මොන් දක්වා ඇති ජෙරුසලම අවට මුළු දේශය සමතලා කරනු ලබන්නේ ය. ජෙරුසලම ඒ අවට ප්‍රදේශයට ඉහළින් උස් ව තිබෙන්නේ ය. ‘බෙන්ජමින් දොරටුව’ සිට කලින් දොරටුවක් තිබුණු ‘කොනේ දොරටුව’ දක්වා ද ‘හනනෙල් කොත’ සිට රජුගේ මුද්‍රික තටාකය දක්වා ද නුවර පැතිර පවතින්නේ ය.</verse>
				<verse number="11">සෙනඟ තවත් විනාශයකට භාජන නොවී සුරැකි ව එහි වාසය කරන්නෝ ය.</verse>
				<verse number="12">ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කරන සකල ජාතීන් කෙරෙහි වසංගතයක් සමිඳාණන් වහන්සේ පමුණුවන සේක. ඔවුන් සිටගෙන සිටිය දී ඔවුන්ගේ මාංස කුණු වී යන්නේ ය. ඔවුන්ගේ ඇස් ද දිව් ද ජරාපත් වන්නේ ය.</verse>
				<verse number="13">ඒ කාලයේ දී සමිඳාණන් වහන්සේ ඔවුන් අතර භීතියක් ඇති කරන සේක. ඒ නිසා, එක මිනිසෙකු තමා ළඟ සිටින මිනිසා අල්ලාගෙන ඔහුට පහර දෙනු ඇත.</verse>
				<verse number="14">ජුදා සෙනඟ පවා ජෙරුසලමේ සිට සටන් කරනු ඇත. ඔව්හු අවට සියලු ජාතීන්ගේ සම්පත් වන රන් රිදී ද වස්ත්‍ර ද මහා රාශියක් එකතු කරගන්නෝ ය.</verse>
				<verse number="15">අශ්වයන් ද අශ්වතරයන් ද ඔටුවන් ද කොටළුවන් ද සතුරු කඳවුරුවල සිටින සියලු සත්ත්වයන් ද කෙරෙහි වසංගතයක් පැමිණෙන්නේ ය.</verse>
				<verse number="16">ජෙරුසලමට විරුද්ධ ව සටන් කරන සියලු ජාතීන්ගෙන් ඉතිරි ව සිටින සියලු දෙනා සියලු බලැති දෙවියන් වහන්සේට රාජයාණන් වශයෙන් ම නමස්කාර කරන පිණිසත්, කූඩාරම් මංගල්‍යය පවත්වන පිණිසත් වසරක් පාසා වසරක් ජෙරුසලමට පැමිණෙන්නෝ ය.</verse>
				<verse number="17">යම් දේශයක සෙනඟ සියලු බලැති සමිඳාණන් වහන්සේට රජාණන් වශයෙන් නමස්කාර කරන්න ජෙරුසලමට නොයන්නෝ නම්, ඒ දේශය පිට වැසි නොවසින්නේ ය.</verse>
				<verse number="18">මිසර ජාතිකයෝ කූඩාරම් මංගල්‍යය පැවැත්වීමට නොපැමිණෙත් නම්, එසේ නොපැමිණෙන සියලු ජාතීන් කෙරෙහි සමිඳාණන් වහන්සේ පමුණුවන වසංගතය ඔවුන් පිටත් පමුණුවනු ලැබේ.</verse>
				<verse number="19">කූඩාරම් මංගල්‍යය පැවැත්වීමට නොපැමිණෙන මිසර හා අවශේෂ ජාතීන් කෙරෙහි පැමිණෙන දඬුවම මෙය වේ.</verse>
				<verse number="20">ඒ කාලයේ දී ‘සමිඳාණන් වහන්සේට කැප ය’ යන වචන අශ්වයන්ගේ මිණිගෙඩිවල කොටා තබනු ඇත. දේව මාලිගාවේ පිසීමට ගන්න භාජන පූජාසන ඉදිරියෙහි ඇති පාත්‍ර මෙන් කැප වූ භාජන වන්නේ ය.</verse>
				<verse number="21">ජෙරුසලමේ හා ජුදාවේ ඇති, පිසීමට ගන්න සියලු භාජන සියලු බලැති සමිඳාණන් වහන්සේගේ නමස්කාරය සඳහා වෙන් කරනු ලබන්නේ ය. පූජා ඔප්පු කරන සෙනඟ පැමිණ, පූජාවට ගන්න මාංස තම්බන පිණිස ඒ භාජන පාවිච්චි කරනු ඇත. ඒ කාලය පැමිණි විට එක ම වෙළෙන්දෙකු වත් සියලු බලැති සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ නොසිටිනු ඇත.</verse>
			</chapter>
		</book>
		<book number="39">
			<chapter number="1">
				<verse number="1">ඉශ්රායෙල්වරුන්ට දන්වන පිණිස සමිඳාණන් වහන්සේ මලාකිට දිව්‍ය ප්‍රකාශනයකින් දුන් පණිවුඩය මෙය වේ:</verse>
				<verse number="2">“මම නුඹලාට ප්‍රේම කෙළෙමි”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. “එහෙත්, ඔබ වහන්සේ අපට කෙසේ ප්‍රේම කළ සේක් දැ”යි නුඹලා අසන්නහු ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒසව් හා ජාකොබ් සහෝදරයෝ නොවෙත් ද? එහෙත්, මම ජාකොබ්ට ප්‍රේම කෙළෙමි.</verse>
				<verse number="3">ඒසව්ට ද්වේෂ කෙළෙමි. මම ඒසව්ගේ කඳුකර පළාත විනාශ කොට, ඔහුගේ උරුමය, වන මෘගයන්ගේ වාසස්ථානයක් කෙළෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="4">ඒසව්ගේ පරම්පරාවෙන් පැවත එන ඒදොම්වරුන්, “අපේ නගර විනාශ වී ඇතත් අපි නැවත ඒවා ගොඩනඟන්නෙමු”යි කීවොත්, සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දෙන සේක: “ඔවුන් ගොඩනඟන නමුත් මම නැවත ඒවා කඩාදමන්නෙමි. ඒදොම් වනාහි ‘දුෂ්ට පළාත’ කියා ද ‘සදහට ම සමිඳාණන් වහන්සේගේ උදහසට ලක් වී ඇති ජාතියක්’ කියා ද සෙනඟ කියනු ඇත.</verse>
				<verse number="5">මේ දේ නුඹලාගේ දෑසින් නුඹලා දකිනු ඇත. එවිට, ‘ඉශ්රායෙල් දේශයෙන් එපිටත් සමිඳාණන් වහන්සේ බලවත් ය’යි නුඹලා කියනු ඇත.”</verse>
				<verse number="6">“පුත්‍රයා තමාගේ පියාටත්, මෙහෙකරුවා තමාගේ ස්වාමියාටත් ගෞරව කරති. මා නුඹලාගේ පියා නම්, නුඹලා මට ගෞරව නොකරන්නේ මන් ද? මා නුඹලාගේ ස්වාමියා නම් මට ගරුබුහුමන් නොදෙන්නේ මන්ද කියා අවමන් කරන පූජකවරුන්ගෙන් සියලු බලැති සමිඳාණන් වහන්සේ අසන සේක. ‘අප ඔබට අවමන් කෙළේ කෙසේ දැ’යි නුඹලා අසන්නහු ය.</verse>
				<verse number="7">නුඹලා මට අවමන් කර ඇත්තේ පූජාසන පිට අපවිත්‍ර ආහාර ඔප්පු කිරීමෙන් ය. එවිට ‘අප ආහාර අපවිත්‍ර කෙළේ කෙසේ දැ’යි නුඹලා අසන්නහු ය. ‘සමිඳාණන් වහන්සේගේ පූජාසනය සුළු යයි නුඹලා කීමෙන් ය.’</verse>
				<verse number="8">‘මට පූජා කරන පිණිස නුඹලා අන්ධ සතෙකු ගෙන ඒම හරි ද? කොර සතෙකු හෝ ලෙඩ සතෙකු හෝ ඔප්පු කිරීම හරි ද? එවැනි සතෙකු නුඹලාගේ ආණ්ඩුකාරයාට දී බලන්න. ඔහු ඒ ගැන ප්‍රසන්න වෙයි ද? නුඹලාට උදව් උපකාර දෙයි දැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="9">“අපට කරුණා කරන මෙන් දෙවියන් වහන්සේගෙන් අයැදින්න. එවැනි පූජාවක් ඔබේ අතින් පිළිගෙන සමිඳාණන් වහන්සේ ඔබට කරුණා කරන සේක් දැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="10">‘අහෝ! මාගේ පූජාසනය පිට නිෂ්ඵල ලෙස ගිනි නොදල්වන පිණිස දොරවල් වසා තබන එක් කෙනෙකු නුඹලා අතරේ ඇත්නම් කොපමණ හොඳ ද? නුඹලා ගැන මට සතුටක් නැත; නුඹලා ගෙනෙන පූජාවක් මම භාර නොගනිමි.</verse>
				<verse number="11">ඉර උදා වන තැන් පටන් ඉර බැස යන තැන් දක්වා සියලු ජාතීහු මාගේ නාමයට ගෞරව කරති. ඔව්හු සෑම තැන ම සුවඳ දුම් ද පිරිසිදු පූජා ද මට ඔප්පු කරති. සියලු ජාතීහු මාගේ නාමයට ගෞරව කරති’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="12">“එහෙත් නුඹලා සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිළිකුල් යයි කියමින් එහි ඔප්පු කරන ආහාරවලට නිගා කරන බැවින් නුඹලා මාගේ නාමයට අගෞරව කරන්නහු ය.</verse>
				<verse number="13">‘මේ මොන කරදරයක් දැ’යි කියමින් නුඹලා මට අවමන් කරන්නහු ය”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක. “සොරාගත්තා වූ නොහොත් කොර වූ හෝ ලෙඩ වූ හෝ සතුන් පූජාවන් වශයෙන් නුඹලා ගෙනෙන්නහු ය. නුඹලාගේ අතින් මා ඒවා පිළිගන්නවා ඇතැ යි නුඹලා සිතන්නහු ද?</verse>
				<verse number="14">මා හට පූජා කරන්න පොරොන්දු වූ හොඳ සතුන් රැළේ සිටිය දී, වැදගැම්මක් නැති සතෙකු මට පූජා කරන ප්‍රයෝගකාරයාට වන විපතක මහත! මන්ද, මම ශ්‍රේෂ්ඨ රජෙක්මි. සියලු රටවල සෙනඟ මාගේ නාමයට ගරුබිය දක්වති”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">“පූජකවරුනි, මේ ආඥාව නුඹලාට ය”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="2">“නුඹලාගේ ක්‍රියාවලින් මට ගෞරව නොකරන්නහු නම්, මා වදාරන දේට නුඹලා සවන් නොදෙන්නහු නම්, එය හොඳින් සිතට නොගන්නහු නම්, නුඹලා පිට මම සාපයක් පමුණුවන්නෙමි. නුඹලා ලබන ආශීර්වාදය සාපයට හරවමි. ඇත්ත වශයෙන් නුඹලා මාගේ ආඥා තදින් සිතට නොගත් නිසා දැනටමත් මා ඒවාට සාප කර ඇත.</verse>
				<verse number="3">මම නුඹලාගේ දරු සම්පත වළක්වන්නෙමි. නුඹලාගේ මුහුණු පිට කසළ එනම්, මංගල්‍ය පූජා පිණිස ගෙනෙන සතුන්ගේ කසළ තවරා, ඒ සමඟ නුඹලා ඉවතට හෙළන්නෙමි.</verse>
				<verse number="4">එවිට ලෙවීගේ පරම්පරාවේ පූජකයන් සමඟ මා කළ ගිවිසුම ස්ථිර ව පවතින පිණිස මා මේ ආඥාව නුඹලාට දුන් බව නුඹලා දැනගන්නහු ය.” මෙසේ පවසන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ ය.</verse>
				<verse number="5">“මාගේ ගිවිසුමක් මඟින් ඔවුන්ට ජීවිතයත්, සෞභාග්‍යයත් දෙන්නට මම පොරොන්දු වීමි. ඔවුන් මට ගෞරව කරන පිණිස මේ සියල්ල මම ඔවුන්ට දිනිමි. එසේ ඔව්හු බිය ඇති ව මාගේ නාමයට ගරුබිය දැක්වූ හ.</verse>
				<verse number="6">ඔව්හු අසත්‍යය නොව සත්‍යය ඉගැන්වූ හ. ඔව්හු සමගිකමෙන් හා අවංකකමෙන් මා සමඟ ජීවත් වී බොහෝ දෙනෙකු අපරාධයෙන් වළක්වාලූ හ.</verse>
				<verse number="7">දෙවියන් වහන්සේ පිළිබඳ සත්‍ය ඥානය දීම හා ඉගැන්වීම පූජකයන්ගේ යුතුකම් ය. ඔවුන් සියලු බලැති සමිඳාණන් වහන්සේගේ දූතයන් වන බැවින් මාගේ කැමැත්ත පිළිබඳ ව ඉගෙනගැනීම සඳහා සෙනඟ ඔවුන් වෙත යා යුතු ය.</verse>
				<verse number="8">“එහෙත්, පූජකයන් වන නුඹලා හරි මාර්ගයෙන් පිට ගොස් ඇත. නුඹලාගේ ඉගැන්වීම් නිසා බොහෝ දෙනෙකු වරදට වැටී ඇත. ලෙවී සමඟ මා කළ ගිවිසුම නුඹලා කඩ කර ඇත.</verse>
				<verse number="9">නුඹලා මාගේ ඉගැන්වීම් නොපිළිපැද, මාගේ කැමැත්ත ගැන උගන්වන විට සියලු දෙනා එක සේ නොසලකන බැවින් මම ද ඉශ්රායෙල් සෙනඟ විසින් නුඹලා හෙළාදකිනු ලබන්න සලස්වන්නෙමි.” මෙසේ පවසන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ ය.</verse>
				<verse number="10">අප සියල්ලන්ට ඇත්තේ එක ම පියාණන් වහන්සේ නොවේ ද? අප මැව්වේ එක ම දෙවියන් වහන්සේ නොවේ ද? එසේ නම්, එකිනෙකාට දෝහිකම් කරමින්, අපේ මුතුන්මිත්තන් සමඟ දෙවියන් වහන්සේ කළ ගිවිසුම අප කෙලසන්නේ මන් ද?</verse>
				<verse number="11">ජුදාහි සෙනඟ දෙවියන් වහන්සේට ඔවුන් දුන් පොරොන්දුව කඩ කර, ඉශ්රායෙල්හි ද ජෙරුසලමේ ද භයානක පිළිකුල් ක්‍රියා කර ඇත. දෙවියන් වහන්සේ ප්‍රේම කරන ශුද්ධස්ථාන පූජා කෙලෙසා ඇත. ඔව්හු විදේශීය දෙවිවරුන්ට නමස්කාර කරන ස්ත්‍රීන් සරණ පාවාගෙන සිටිති.</verse>
				<verse number="12">මෙසේ කරන යමෙක් සිටිත් නම්, සමිඳාණන් වහන්සේ ඔහු විනාශ කරන සේක් වා. ඔහු මින්පසු කවදා වත් සියලු බලැති සමිඳාණන් වහන්සේට පූජා ඔප්පු කරන අපේ ජාතියේ සෙනඟට අයිති නො වේ වා!</verse>
				<verse number="13">මෙන්න, ඔබ කරන තව වරදක්! සමිඳාණන් වහන්සේ ඔබේ පූජාවන් හා දීමනාවන් නොපිළිගන්න බැවින්, ඔබ හඬා වැලපී උන් වහන්සේගේ පූජාසනය පිට කඳුළු වගුරුවන්නහු ය.</verse>
				<verse number="14">උන් වහන්සේ ඔබේ පූජාවන් නොපිළිගන්නේ මන්දැ යි ඔබ අසන්නහු ය. එයට හේතුව, ඔබ තරුණ කාලයෙහි විවාහ කරගත් භාර්යාවට දුන් පොරොන්දුව කඩ කර තිබෙන බව උන් වහන්සේ දැනගෙන සිටීම ය. ඔබේ සහකාරී වූ ඈට පක්ෂපාත ව සිටින බවට දෙවියන් වහන්සේට ඔබ පොරොන්දු වූ නමුත් ඈට දුන් පොරොන්දුව ඔබ කඩ කර ඇත.</verse>
				<verse number="15">එක ම දෙවියන් වහන්සේ ඔබ, ඔබේ භාර්යාව හා ඒකාබද්ධ නොකළ සේක් ද? එසේ කෙළේ, දෙවියන් වහන්සේගේ සැබෑ සෙනඟ වන දරුවන් අපට ඇති කරන පිණිස ය. ඒ නිසා ප්‍රවේසම් වන්න. කිසිවෙක් තමා තරුණ වියේ විවාහ කරගත් භාර්යාවට දුන් පොරොන්දු කඩ නොකෙරේ වා!</verse>
				<verse number="16">ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. “මම දික්කසාදයට දැඩි ලෙස විරුද්ධ වෙමි. නුඹලාගෙන් කෙනෙකු තම භාර්යාවට කරන එවැනි නපුරු ක්‍රියා ගැන මම දැඩි ලෙස විරුද්ධ වෙමි. එබැවින් ඔබේ ආත්මය රැකගන්න. නුඹේ භාර්යාවට පක්ෂපාත ව සිටීමට දුන් පොරොන්දුව කඩ නොකරන්න.”</verse>
				<verse number="17">ඔබේ වචනවලින් ඔබ සමිඳාණන් වහන්සේ වෙහෙසන්නහු ය. එහෙත්, ‘අපි කෙසේ උන් වහන්සේ වෙහෙසන්නෙමු දැ’යි ඔබ අසන්නහු ය. ඔබ උන් වහන්සේ වෙහෙසන්නේ, ‘නපුර කරන සියල්ලෝ ම උන් වහන්සේ ඉදිරියේ යහපත් ය; උන් වහන්සේ ඔවුන් කෙරෙහි ප්‍රසන්න ය’යි කීමෙන්, හා ‘සර්ව සාධාරණ උන් වහන්සේ කොතැන දැ’යි ප්‍රශ්න කිරීමෙන් ය.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">මෙයට සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දෙන සේක: “මට පෙරටු ව ගොස් මාගේ මාර්ගය පිළියෙළ කරන්නාවූ මාගේ දූතයා මම එවන්නෙමි. එවිට නුඹලා සොයමින් සිටින සමිඳාණන් වහන්සේ හදිසියෙන් තමන් දේව මාලිගාවට වඩින සේක. නුඹලා පුල පුලා බලා සිටින දූතයා පැමිණ මාගේ ගිවිසුම ප්‍රකාශ කරනු ඇත.”</verse>
				<verse number="2">එහෙත්, උන් වහන්සේගේ පැමිණීමේ දවස උහුලන්න පුළුවන් කවරෙකුට ද? උන් වහන්සේ ප්‍රකාශ වන විට ගැළවී සිටින්න පුළුවන් කවරෙකුට ද? උන් වහන්සේ රන්කරුවෙකුගේ ගින්න මෙන් ද අපුල්ලන්නෙකුගේ සබන් මෙන් ද වන සේක.</verse>
				<verse number="3">උන් වහන්සේ රිදී උණු කර පිරිසිදු කරන කෙනෙකු මෙන් ලෙවී පුත්‍රයන් පවිත්‍ර කරන සේක. එවිට ඔව්හු සමිඳාණන් වහන්සේ වෙත නියම පූජාවක් ගෙනෙන්නෝ ය.</verse>
				<verse number="4">ජුදාවේ හා ජෙරුසලමේ සෙනඟ සමිඳාණන් වහන්සේ වෙත ගෙනෙන පූජා පෙර කාලයේ දී මෙන් උන් වහන්සේට ප්‍රියමනාප වන්නේ ය.</verse>
				<verse number="5">සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම විනිශ්චය පිණිස නුඹලා ළඟට අවුත්, මන්ත්‍රකාරයන්ට ද කාමමිථ්‍යාචාරිකයන්ට ද බොරු සාක්ෂි දෙන්නන්ට ද කුලීකරුවන්ට පීඩා කරන්නන්ට ද වැන්දඹුවන්ට, අනාථයන්ට හා විදේශිකයන්ට අයුතු දේ කරන්නන්ට ද මට ගරුබිය නොදක්වන්නන්ට ද විරුද්ධ ව විගසින් සාක්ෂි දෙන්නෙමි.”</verse>
				<verse number="6">සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම සමිඳාණන් වහන්සේ ය; මාගේ වෙනස් වීමක් නැත. ජාකොබ්ගේ පරම්පරාවෙන් පැවත එන නුඹලා තවමත් සම්පූර්ණයෙන් විනාශ වී නැත්තේ ඒ නිසා ය.</verse>
				<verse number="7">පෙර සිටි නුඹලාගේ මුතුන්මිත්තන් සේ නුඹලා ද මාගේ ආඥාවලට පිටුපා ඒවා කඩ කළහු ය. එහෙත්, මා වෙත හැරී එන්න; එවිට මමත් නුඹලා වෙත හැරී එන්නෙමි. ‘අපි කෙසේ හැරී එන්නෙමු දැ’යි නුඹලා අසන්නහු ය.</verse>
				<verse number="8">දෙවියන් වහන්සේ රැවටීමට මිනිසෙකුට පුළුවන් ද? මම නුඹලාගෙන් අසමි. එසේ කිරීම යුතු නැති වුවත් නුඹලා මා රවටන්නහු ය. නුඹලා මා රවටන්නේ දසයෙන් කොටස හා පූජාවන් පිදීමෙහි දී ය.</verse>
				<verse number="9">මුළු ජාතිය ම මා රවටන බැවින් නුඹලා සියල්ලන් පිට සාපයක් පැමිණ ඇත.</verse>
				<verse number="10">මාගේ මාලිගාවේ භෝජන තිබෙන පිණිස නුඹලා සම්පූර්ණ දසයෙන් කොටස ගබඩාවට ගෙනෙන්න. එසේ කළ විට ස්වර්ගයේ කවුළු හැර බහුල ලෙස මම නුඹලාට ආශීර්වාද නොදෙන්නෙම් දැ යි සෝදිසි කර බලන්න.</verse>
				<verse number="11">ගොයම් මැස්සන්ගෙන් නුඹලාගේ ගොයම් විනාශ වන්න මම ඉඩ නොදෙමි. නුඹලාගේ මිදි වැලේ පලදාවත් සාරවන්නේ ය”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="12">එවිට නුඹලාගේ දේශය යහපත් දේශයක් වන බැවින් සියලු ජාතීන් නුඹලා වාසනාවන්තය යි කියනු ඇත.</verse>
				<verse number="13">සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නුඹලා මට විරුද්ධ ව නපුරු දේ කියා ඇත. එසේ වුවත් ‘ඔබට විරුද්ධ ව අපි කුමක් කීවෙමු දැ’යි නුඹලා අසන්නහු ය.</verse>
				<verse number="14">‘දෙවියන් වහන්සේට සේවය කිරීම නිෂ්ඵල ය. උන් වහන්සේගේ ආඥා ඉටු කිරීමෙන් වත්, කණගාටුවෙන් සියලු බලැති සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හැසිරීමෙන් වත් වැඩක් ඇද් ද?</verse>
				<verse number="15">අපට පෙනෙන හැටියට නම් වාසනාව ඇත්තේ උඩඟු අයට ය; දියුණු වන්නේ නපුරුකම් කරන අය ය. ඔව්හු දෙවියන් වහන්සේ පරීක්ෂා කරතත් නිදහස් ව සිටිති’යි නුඹලා කියන්නහු ය.”</verse>
				<verse number="16">එකල සමිඳාණන් වහන්සේට ගරුබිය දැක්වූ අය එකිනෙකා සමඟ කතා කරගත් විට සමිඳාණන් වහන්සේ ඔවුන් කී දේට සවන් දුන් සේක. සමිඳාණන් වහන්සේට බිය වන්නා වූ ද උන් වහන්සේට ගෞරව කරන්නා වූ ද අය සම්බන්ධයෙන් උන් වහන්සේ ඉදිරියේ පොතක සටහනක් ලියන ලද්දේ ය.</verse>
				<verse number="17">සියලු බලැති සමිඳාණන් වහන්සේ කී දේ ඒ පොතේ මෙසේ සටහන් කර ඇත. “ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය, මා ක්‍රියා කරන දවසේ දී ඔව්හු මාගේ ම විශේෂ උරුමය වන්නෝ ය. පියෙකු තමාට සේවය කරන පුත්‍රයාට කරුණා කරන්නාක් මෙන් මම ඔවුන්ට කරුණාව දක්වන්නෙමි.</verse>
				<verse number="18">එකල ධර්මිෂ්ඨයා හා දුෂ්ටයා අතරේ ද දෙවියන් වහන්සේට සේවය කරන්නා හා උන් වහන්සේට සේවය නොකරන්නා අතරේ ද ඇති වෙනස නුඹලා දකිනු ඇත.”</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “උඩඟු අය ද නපුරු අය ද පිදුරු පෝරණුවක දැවෙන්නාක් මෙන් දැවී යන දවසක් පැමිණෙන්නේ ය. ඒ දවසේ දී කිසිවෙක් ඉතිරි නොවන සේ දැවී යන්නෝ ය.</verse>
				<verse number="2">එහෙත්, මාගේ නාමයට ගරුබිය දක්වමින්, ජීවත්වන නුඹලාට ධර්මිෂ්ඨකම නමැති සූර්යයා සිය රැස්වල සුවසහනය ඇති ව උදාවන්නේ ය. ගාලෙන් පිට වී දුව පැන යන වහු පැටවුන් මෙන් නුඹලා ප්‍රීති වන්නහු ය.</verse>
				<verse number="3">මා ක්‍රියා කරන්න යන දවසේ දී නුඹලා දුෂ්ටයන් පාගාදමන්නහු ය. ඔව්හු නුඹලාගේ පාද යට ධූලි මෙන් වන්නෝ ය.</verse>
				<verse number="4">“ඉශ්රායෙල්හි සියලු සෙනඟ විසින් පිළිපදිනු ලබන පිණිස හොරෙබ් කන්දේ දී මාගේ සේවක මෝසෙස්ට මා දුන් ආඥා හා නියෝග සිහි කරන්න.</verse>
				<verse number="5">“සමිඳාණන් වහන්සේගේ මහා භයානක දවස පැමිණෙන්නට පෙර මම දිවැසිවර එලියා නුඹලා වෙත එවන්නෙමි.</verse>
				<verse number="6">මා පැමිණ නුඹලාගේ දේශය විනාශ නොකරන පිණිස, ඔහු පියවරුන්ගේ සිත් දරුවන් වෙතට ද දරුවන්ගේ සිත් පියවරුන් වෙතට ද හරවනු ලබනවා ඇත.”</verse>
			</chapter>
		</book>
	</testament>
	<testament name="New">
		<book number="40">
			<chapter number="1">
				<verse number="1">ආබ්‍රහම්ගේ ද දාවිත්ගේ ද පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වංශාවලිය මෙසේ ය.</verse>
				<verse number="2">ආබ්‍රහම්ට දාව ඊසාක් ද, ඊසාක්ට දාව ජාකොබ් ද, ජාකොබ්ට දාව ජූදා සහ ඔහුගේ සහෝදරයෝ ද උපන්හ.</verse>
				<verse number="3">ජූදාට දාව තාමාර්ගෙන් පෙරෙශ් හා ශෙරා ද, පෙරෙශ්ට දාව හශේ‍රොන් ද, හශේ‍රොන්ට දාව ආරාම් ද,</verse>
				<verse number="4">ආරාම්ට දාව අමිනාදාබ් ද, අමිනාදාබ්ට දාව නාෂොන් ද, නාෂොන්ට දාව සල්මොන් ද,</verse>
				<verse number="5">සල්මොන්ට දාව රාහාබ්ගෙන් බෝවස් ද, බෝවස්ට දාව රූත්ගෙන් ඕබෙද් ද, ඕබෙද්ට දාව ජෙස්සේ ද,</verse>
				<verse number="6">ජෙස්සේට දාව දාවිත් රජ ද උපන්නෝ ය. දාවිත් රජුට දාව උරියාගේ භාර්යාව වී සිටි ස්ත්‍රියගෙන් සලමොන් ද,</verse>
				<verse number="7">සලමොන්ට දාව රෙහොබෝවම් ද, රෙහොබෝවම්ට දාව අබියා ද, අබියාට දාව ආසප් ද,</verse>
				<verse number="8">ආසප්ට දාව ජෙහොෂාපාත් ද, ජෙහොෂාපාත්ට දාව ජෝරාම් ද, ජෝරාම්ට දාව උශ්ශියා ද,</verse>
				<verse number="9">උශ්ශියාට දාව ජෝතාම් ද, ජෝතාම්ට දාව ආහස් ද, ආහස්ට දාව හෙසකියා ද,</verse>
				<verse number="10">හෙසකියාට දාව මනස්සේ ද, මනස්සේට දාව ආමොස් ද, ආමොස්ට දාව ජෝසියා ද,</verse>
				<verse number="11">බබිලෝනියට විප්‍රවාසගතවීම සිදුවූ මේ කාලයේ දී ජෝසියාට දාව ජෙකොනියා ද ඔහුගේ සහෝදරයෝ ද උපන්නෝ ය.</verse>
				<verse number="12">බබිලෝනියේ විප්‍රවාසයෙන් පසු ජෙකොනියාට දාව ෂෙයල්තියෙල් ද, ෂෙයල්තියෙල්ට දාව සෙරුබාබෙල් ද,</verse>
				<verse number="13">සෙරුබාබෙල්ට දාව අබියුද් ද, අබියුද්ට දාව එලියාකිම් ද, එලියාකිම්ට දාව ආශොර් ද,</verse>
				<verse number="14">ආශොර්ට දාව සාදොක් ද, සාදොක්ට දාව ආකීම් ද, ආකීම්ට දාව එලියුද් ද,</verse>
				<verse number="15">එලියුද්ට දාව එලෙයාසර් ද, එලෙයාසර්ට දාව මත්තාන් ද, මත්තාන්ට දාව ජාකොබ් ද,</verse>
				<verse number="16">ජාකොබ්ට දාව මරිය තුමීගේ පුරුෂයා වූ ජෝසෙප් ද උපන්නෝ ය; මරිය තුමීගෙන් ක්‍රිස්තුස් නම් වූ ජේසුස් වහන්සේ උපන් සේක.</verse>
				<verse number="17">මෙසේ ආබ්‍රහම් පටන් දාවිත් දක්වා පරම්පරා සියල්ල දස සතරකි; දාවිත් පටන් බබිලෝනියේ විප්‍රවාසගතවීම දක්වා පරම්පරා දස සතරකි; බබිලෝනියේ විප්‍රවාසගතවීමේ කාලයේ පටන් ක්‍රිස්තුන් වහන්සේ දක්වා පරම්පරා දස සතරකි.</verse>
				<verse number="18">ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවූයේ මෙසේ ය. උන් වහන්සේගේ මෑණියන් වූ මරිය තුමී ජෝසෙප් හා විවාහ ගිවිසගෙන සිටිය දී, ඔවුන් එක් වන්න පෙර, ශුද්ධාත්මයාණන් අනුහසින් ඈ ගැබ්ගෙන සිටින බව දැනගන්නා ලදී.</verse>
				<verse number="19">ඇගේ ස්වාමි පුරුෂයා වන ජෝසෙප්, සත් පුරුෂයෙකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින්, රහසින් ඇය අත්හැරදමන්න සිතාගත්තේ ය.</verse>
				<verse number="20">එහෙත්, ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටිය දී, සමිඳාණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී, “දාවිත්ගේ පුත් ජෝසෙප්, ඔබේ බිරිඳ වන මරියා පාවාගන්නට බිය නොවන්න; මන්ද, ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන් අනුහසින්.</verse>
				<verse number="21">ඈ පුතෙකු බිහි කරන්නී ය; උන් වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතු ය; මන්ද, සිය සෙනඟ ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමාණෝ ය”යි කී ය.</verse>
				<verse number="22">මේ සියල්ල සිදුවූයේ සමිඳාණන් වහන්සේ දිවැසිවරයා ලවා කියෙවූ කීම ඉටු වන පිණිස ය. එනම්:</verse>
				<verse number="23">“මෙන්න, කන්‍යාවක් ගැබ්ගෙන පුතෙකු බිහි කරන්නී ය; උන් වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනු ඇත,” යනු ය. ඒ නාමයේ අර්ථය නම්, “දෙවියන් වහන්සේ අප සමඟ ය” යනුයි.</verse>
				<verse number="24">ජෝසෙප් නින්දෙන් අවදි වූ විට සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහුට අණ කළ ලෙස, සිය බිරිඳ කැන්දාගෙන ගියේ ය.</verse>
				<verse number="25">එහෙත්, ඇයට පුත්‍රයා ලැබෙන තුරු ඔහු ඇය සමඟ එක් නො වී ය. ඔහු උන් වහන්සේට ජේසුස් යන නාමය තැබී ය.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">හෙරොද් රජු දවස ජුදයේ බෙත්ලෙහෙමෙහි ජේසුස් වහන්සේ උපන් කල, පෙරදිගින් ශාස්ත්‍රවන්තයෝ ජෙරුසලමට අවුත්,</verse>
				<verse number="2">“ජුදෙව්වරුන්ට රජ ව උපන් උතුමාණෝ කොතැන්හි ද? අපි එතුමාණන්ගේ තාරකාව පෙරදිග දී දැක, එතුමාණන්ට නමස්කාර කරන පිණිස ආවෙමු”යි කී හ.</verse>
				<verse number="3">එපවත් ඇසූ හෙරොද් රජ ද මුළු ජෙරුසලම් ජනතාව ද කැළඹුණාහ.</verse>
				<verse number="4">එකල ඔහු සෙනඟගේ සියලු නායක පූජකයන් ද විනයධරයන් ද රැස් කරවා, “ක්‍රිස්තුන් වහන්සේ කොතැන්හි උපදින සේක් දැ”යි ඔවුන්ගෙන් විචාළේ ය.</verse>
				<verse number="5">ඔව්හු කතා කොට, “ජුදයේ බෙත්ලෙහෙමෙහි ය; ඒ ගැන දිවැසිවරයා මෙසේ ලියා තිබේ;</verse>
				<verse number="6">‘එම්බා, ජුදා දේශයේ බෙත්ලෙහෙම! තී ජුදාගේ භූපතීන් අතර කිසි සේත් අල්ප නොවන්නී ය. මන්ද; මාගේ ඉශ්රායෙල් සෙනඟ පාලනය කරන මූලිකයෙකු තී කෙරෙන් නික්මෙනු ඇතැ’ “යි ඔහුට කී හ.</verse>
				<verse number="7">එකල හෙරොද් ශාස්ත්‍රවන්තයන් රහසින් කැඳවා, තාරකාව පෙනුණු වේලාව ඔවුන්ගෙන් හොඳින් දැනගෙන,</verse>
				<verse number="8">“ඔබ ගොස් ඒ ළදරුවා ගැන හරි ලෙස විමසන්න; ඔබ විමසා සොයාගත් පසු, මාත් ගොස් උන් වහන්සේට නමස්කාර කරනු පිණිස මටත් දන්වන්න” කියා, ඔවුන් බෙත්ලෙහෙමට යැවී ය.</verse>
				<verse number="9">රජුගේ බස් අසා ඔව්හු පිටත් ව ගියහ. පෙරදිග දී ඔවුන් දුටු තාරකාව, ළදරුවා සිටි තැනට අවුත් ඉහළින් නවතින තුරු, ඔවුන්ට පෙරටුවෙන් ගියේ ය.</verse>
				<verse number="10">තාරකාව දැක ඔව්හු අතිශයින් ප්‍රීති ප්‍රමෝද වූ හ.</verse>
				<verse number="11">ඔව්හු ගෙට පිවිස, ළදරුවා සිය මව වූ මරිය තුමී හා සමඟ සිටිනු දැක, පසඟ පිහිටුවා වැඳ, සිය කරඬු ඇර රන් ද, තුවරලා ද, ගන්ධරස ද යන පඬුරු උන් වහන්සේට පිදූ හ.</verse>
				<verse number="12">තවද, හෙරොද් වෙත ආපසු නොයන ලෙස සිහිනයකින් දන්වනු ලැබූ ඔව්හු අන් මඟකින් සිය රට බලා ගියහ.</verse>
				<verse number="13">ඔවුන් ගිය පසු සමිඳාණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ජෝසෙප්ට දර්ශනය වී, ඔහු අමතා, “නැඟිට ළදරුවා ද උන් වහන්සේගේ මෑණියන් ද රැගෙන මිසරයට ගොස්, මා දන්වන තුරු එහි නවතින්න. මන්ද, හෙරොද් රජ ළදරුවා මරාදැමීමට සොයති”යි කී ය.</verse>
				<verse number="14">ඔහු රාත්‍රියෙහි නැඟිට ළදරුවා ද උන් වහන්සේගේ මෑණියන් ද රැගෙන මිසරයට ගොස්,</verse>
				<verse number="15">හෙරොද්ගේ මරණය දක්වා එහි සිටියේ ය. මෙසේ වූයේ, “මිසරයෙන් මාගේ පුත්‍රයා කැඳවාගතිමි”යි කියා සමිඳාණන් වහන්සේ විසින් දිවැසිවරයා කරණකොටගෙන කියන ලද කීම ඉටු වනු පිණිස ය.</verse>
				<verse number="16">එකල හෙරොද් තෙමේ ශාස්ත්‍රවන්තයන් විසින් තමා රවටනු ලැබූ බව දැක, අතිශයින් උදහස් විය. එවිට ඔහු ශාස්ත්‍රවන්තයන්ගෙන් විමසා, හරියාකාර දැනගත් කාලය අනුව, දෑවුරුදු වයස් වූ ද, ඊට බාල වූ ද, බෙත්ලෙහෙම හා ඒ අවට මුළු පෙදෙසෙහි සිටි සියලු පිරිමි දරුවන් මරාදැමීමට අණ කෙළේ ය.</verse>
				<verse number="17">එකල දිවැසිවර ජෙරමියා විසින් කියන ලද මේ කීම ඉටු විය:</verse>
				<verse number="18">
					“හැඬීමේ ද දැඩි වැලපීමේ ද හඬක් රාමාහි ඇසිණි.
					රාකෙල් ඇගේ දරුවන් ගැන අඬමින්, ඔවුන් නැති නිසා අස්වැසිල්ලක් ලැබීමට අකමැති වූවා ය.”
				</verse>
				<verse number="19">හෙරොද් මියගිය පසු, සමිඳාණන් වහන්සේගේ දූතයෙක් මිසරයේ දී සිහිනයකින් ජෝසෙප්ට දර්ශනය වී, ඔහු අමතා,</verse>
				<verse number="20">“නැඟිට ළදරුවා ද ඔහුගේ මෑණියන් ද රැගෙන ඉශ්රායෙල් දේශයට යන්න; ළදරුවාගේ ජීවිතය නසන්න තැත් කළ අය මළහ”යි කී ය.</verse>
				<verse number="21">එවිට ඔහු නැඟිට ළදරුවා ද උන් වහන්සේගේ මෑණියන් ද රැගෙන ඉශ්රායෙල් දේශයට පැමිණියේ ය.</verse>
				<verse number="22">එහෙත්, අර්කෙලාවුස් සිය පිය වූ හෙරොද් වෙනුවට ජුදා දේශයේ රජකම් කරන බව අසා, ඔහු එහි යන්න බිය ව, සිහිනයකින් දන්වනු ලැබ ගලීලයේ පෙදෙස්වලට ගොස්,</verse>
				<verse number="23">එහි නාසරෙත් නුවර විසී ය. මෙසේ වූයේ, “උන් වහන්සේ නාසරීයයෙකැ”යි දිවැසිවරයන් විසින් කියන ලද කීම ඉටු වන පිණිස ය.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">ඒ දවස්වල දී ස්නාවක ජොහන් අවුත්, ජුදයේ පාළුකරයෙහි දේශනා කරමින්,</verse>
				<verse number="2">“පසුතැවී සිත් හරවා ගන්න; මන්ද, ස්වර්ග රාජ්‍යය ළඟ ය”යි කී ය.</verse>
				<verse number="3">කුමක් හෙයින් ද යත්: “ ‘ සමිඳුන්ගේ මාවත පිළියෙළ කරන්න; එතුමන් හට ඇද නැති මාවත් සාදන්නැ’යි පාළුකරයෙහි මොරගා කියන හඬක් ය”යි, දිවැසිවර යෙසායා පැවසුවේ මොහු ගැන ය.</verse>
				<verse number="4">මෙකී ජොහන් ඔටු ලොම් වස්ත්‍රයක් ඇඳ, ඉණ වටා හම් පටියක් බැඳ සිටියේ ය. පළඟැටියන් හා වන මී ඔහුගේ ආහාරය විය.</verse>
				<verse number="5">එකල ජෙරුසලමේ ද මුළු ජුදයේ ද ජොර්දාන් අවට මුළු පෙදෙසේ ද වැසියෝ ඔහු වෙත පැමිණ,</verse>
				<verse number="6">පාපෝච්චාරණය කරමින්, ජොර්දාන් ගංගාවෙහි ඔහු අතින් බව්තීස්ම-ස්නාපනය ලැබූ හ.</verse>
				<verse number="7">එහෙත්, බව්තීස්ම-ස්නාපනය ලබන පිණිස පරිසිවරුන්ගෙන් ද සද්දුසිවරුන්ගෙන් ද බොහෝ දෙනෙකු එනු දුටු ඔහු ඔවුන්ට කතා කොට, “පොළොං වංශය, එන්න තිබෙන උදහසින් පලා යාමට ඔබට අවවාද කෙළේ කවරෙක් ද?</verse>
				<verse number="8">එසේ නම්, ඔබ පසුතැවී සිත් හරවා ගත් බව ඔබේ හැසිරීමෙන් පෙන්වන්න.</verse>
				<verse number="9">‘ආබ්‍රහම් අපගේ පියාණෝ ය’යි කියාගන්නට නොසිතන්න. ඒ මන්ද, මේ ගල්වලින් වුව ද ආබ්‍රහම්ට දරුපරපුරක් උපදවා දෙන්න දෙවියන් වහන්සේට පුළුවනැ යි මම ඔබට කියමි.</verse>
				<verse number="10">තවද, දැනට ම පොරොව ගස් මුල්වලට තබා තිබේ. එබැවින් හොඳ පල නොදෙන සියලු ගස් කපා ගින්නෙහි දමනු ලැබේ.</verse>
				<verse number="11">මම නම්, පසුතැවී සිත හරවා ගැනීමේ ලකුණක් වශයෙන් වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරමි. එහෙත්, මට පසුව එන තැනැත්තේ මට වඩා ආනුභාසම්පන්න ය. මම උන් වහන්සේගේ පාවහන් ගෙන යාමට තරම් වත් නොවටිමි. උන් වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් ද ගින්නෙන් ද ඔබ බව්තීස්ම-ස්නාපනය කරන සේක.</verse>
				<verse number="12">උන් වහන්සේගේ අතෙහි කුල්ල ඇත. උන් වහන්සේ සිය කමත හොඳ හැටි පිරිසිදු කර, ධාන්‍ය අටුවල රැස් කොට, බොල් නොනිවෙන ගින්නෙන් දවන සේකැ”යි කී ය.</verse>
				<verse number="13">එකල ජේසුස් වහන්සේ ස්නාවක ජොහන් විසින් බව්තීස්ම-ස්නාපනය කරගනු ලබන පිණිස ගලීලයේ සිට ජොර්දානට වැඩම කළ සේක.</verse>
				<verse number="14">එහෙත්, ජොහන් උන් වහන්සේ වළක්වමින්, “ඔබෙන් බව්තීස්ම-ස්නාපනය ලැබිය යුත්තේ මම ය; එහෙත්, ඔබ මා වෙත එන සේක් දැ”යි ඇසී ය.</verse>
				<verse number="15">ජේසුස් වහන්සේ ඔහුට උත්තර දෙමින්, “දැනට ඉඩ දෙන්න; මෙසේ දේව කැමැත්ත මුළුමනින් ඉටු කිරීම අපට සුදුසු ය”යි වදාළ සේක. එවිට ජොහන් ඊට එකඟ විය.</verse>
				<verse number="16">ජේසුස් වහන්සේ බව්තීස්ම-ස්නාපනය ලැබ, එකෙණෙහි ම දියෙන් ගොඩ ආ සේක. එවිට ස්වර්ගය විවර විය. දෙවියන් වහන්සේගේ ආත්මයාණන් පරෙවියෙකු මෙන් බසිමින් තමන් පිට පැමිණෙනු උන් වහන්සේ දුටු සේක.</verse>
				<verse number="17">තවද, “මොහු මාගේ ප්‍රියාදර පුත්‍රයා ය; මොහු කෙරේ මම ඉතා ප්‍රසන්න වී සිටිමි”යි ස්වර්ගයෙන් හඬක් නික්මිණි.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">එකල ජේසුස් වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස ශුද්ධාත්මයාණන් විසින් පාළුකරයට පමුණුවනු ලැබූ සේක.</verse>
				<verse number="2">දහවල් සතළිසක් ද රෑ සතළිසක් ද නිරාහාර ව උන් පසු, උන් වහන්සේට සාගිනි ඇති විය.</verse>
				<verse number="3">එවිට පරීක්ෂාකාරයා උන් වහන්සේ වෙත අවුත්, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් ගෙඩි, පාන් ගෙඩි වන්න අණ කළ මැනවැ”යි කී ය.</verse>
				<verse number="4">උන් වහන්සේ උත්තර දෙමින්, “ ‘මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව; දෙවියන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචන වලින් ය’ කියා ලියා ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="5">එවිට යක්ෂයා උන් වහන්සේ ශුද්ධ නුවරට පමුණුවා දේව මාලිගාවේ කොත මුදුනේ සිටුවා,</verse>
				<verse number="6">“ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම්, පහතට පනින්න; ‘උන් වහන්සේ සිය දූතයන්ට ඔබ ගැන අණ දෙනු ඇත. ඔබේ පය කිසිසේත් ගලක නොවදින පිණිස, ඔව්හු සිය අත්වලින් ඔබ උසුලනු ඇතැ’යි ලියා තිබේ ය”යි උන් වහන්සේට කී ය.</verse>
				<verse number="7">ජේසුස් වහන්සේ ද කතා කොට, “ ‘තාගේ දෙවි ස්වාමීන් වහන්සේ පරීක්ෂා නොකරන්න’ කියාත් ලියා ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="8">යළිත් යක්ෂයා උන් වහන්සේ ඉතා උස් කන්දකට පමුණුවා, ලෝකයේ සියලු රට රාජ්‍යයන් සහ ඒවායේ යසශ්‍රිය උන් වහන්සේට පෙන්වා,</verse>
				<verse number="9">“ඔබ දණින් වැටී මට නමස්කාර කරන්නෙහි නම්, මේ සියල්ල ඔබට දෙන්නෙමි”යි උන් වහන්සේට කී ය.</verse>
				<verse number="10">එවිට ජේසුස් වහන්සේ, කතා කරමින්, “සාතන් පලා යව! ‘නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න; උන් වහන්සේට පමණක් සේවය කරන්න’ කියා ලියා ඇතැ”යි ඔහුට වදාළ සේක.</verse>
				<verse number="11">එකල යක්ෂයා උන් වහන්සේ අත්හැර ගියේ ය. දේව දූතයෝ අවුත් උන් වහන්සේට උපස්ථාන කළහ.</verse>
				<verse number="12">ජොහන් හිරභාරයට ගනු ලැබූ බව අසා, ජේසුස් වහන්සේ ගලීලයට වැඩම කළ සේක.</verse>
				<verse number="13">උන් වහන්සේ නාසරෙත් නුවර හැර සාබුලොන් සහ නප්තලී පෙදෙසෙහි මුහුදුබඩ පිහිටි කපර්ණවුමට පැමිණ එහි විසූ සේක.</verse>
				<verse number="14">මෙසේ කෙළේ, යෙසායා දිවැසිවරයා මඟින් කියන ලද දේ ඉටුවන පිණිස ය. එනම්:</verse>
				<verse number="15">
					“ජොර්දානෙන් එතෙර මුහුදු මාවතෙහි පිහිටි, එම්බා!
					සාබුලොන් රට, නප්තලී රට, විජාතීන්ගේ ගලීලය!
				</verse>
				<verse number="16">ගනඳුරෙහි කල් යැවූ සෙනඟ මහත් එළියක් දුටහ. මරණ අඳුර ඇති දේශයෙහි වෙසෙන්නවුන්ට එළිය උදාවිය” යනු යි.</verse>
				<verse number="17">එවක් පටන් ජේසුස් වහන්සේ, “පසුතැවී සිත් හරවා ගන්න; ස්වර්ග රාජ්‍යය ආසන්න ය” කියා දේශනා කරන්න පටන්ගත් සේක.</verse>
				<verse number="18">උන් වහන්සේ ගලීලයේ මුහුදුබඩ ඇවිදින විට, ධීවර සහෝදරයන් දෙදෙනෙකු වන පේදුරු නම් ලත් සීමොන් ද ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ද මුහුදේ දැළක් හෙළනු දැක,</verse>
				<verse number="19">“මා අනුව එන්න; මම ඔබ මිනිසුන් දිනාගන්නන් කරමි”යි වදාළ සේක.</verse>
				<verse number="20">එකෙණෙහි ම ඔව්හු දැල් හැරදමා උන් වහන්සේ අනුව ගියහ.</verse>
				<verse number="21">උන් වහන්සේ එතැනින් ගොස් තවත් සහෝදරයන් දෙදෙනෙකු වන සෙබදීගේ පුත් ජාකොබ් ද ඔහු සොහොයුරු ජොහන් ද ඔවුන්ගේ පියා වන සෙබදී සමඟ ඔරුවේ හිඳ දැල් එලලනු දැක, ඔවුන් කැඳවා වදාළ සේක.</verse>
				<verse number="22">එකෙණෙහි ම ඔව්හු ඔරුව ද පියා ද අත්හැර උන් වහන්සේ අනුව ගියහ.</verse>
				<verse number="23">තවද, ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල අනුශාසනා කරමින් ද රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කරමින් ද සෙනඟ අතර සියලු ආකාර ලෙඩ රෝග සුව කරමින් ද ගලීලය පුරා සැරිසැරූ සේක.</verse>
				<verse number="24">උන් වහන්සේගේ කීර්ති රාවය සිරියාව පුරා පැතිරිණි. නානා රෝග පීඩාවලින් පෙළුණු සියලු රෝගීහු ද දුෂ්ටාත්මාවේශ වූ අය ද මීමැස්මොර රෝගීහු ද අංසබාග රෝගීහු ද උන් වහන්සේ වෙත ගෙනෙන ලද්දෝ ය. උන් වහන්සේ ඔවුන් සුවපත් කළ සේක.</verse>
				<verse number="25">ගලීලයෙන් ද දෙකපොලිසයෙන් ද ජෙරුසලමෙන් ද ජුදයෙන් ද ජොර්දාන් ගඟ එගොඩින් ද මහා ජනකායක් උන් වහන්සේ පසුපස්සේ ගියහ.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">ජේසුස් වහන්සේ ජනකාය දැක කන්දකට නැඟුණු සේක. උන් වහන්සේ වැඩහුන් කල ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත ආහ.</verse>
				<verse number="2">එවිට උන් වහන්සේ ඔවුන්ට උගන්වමින් මෙසේ වදාළ සේක:</verse>
				<verse number="3">“බැගෑ සිතින් දෙවි සරණ පතන්නෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය.</verse>
				<verse number="4">
					ශෝක වන්නෝ භාග්‍යවන්තයෝ ය;
					ඔව්හු සැනසීම ලබන්නෝ ය.
				</verse>
				<verse number="5">
					නිහතමානී ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝ ය;
					ඔව්හු දේශය උරුම කර ගන්නෝ ය.
				</verse>
				<verse number="6">
					යුක්තියට සාපිපාසා ඇත්තෝ භාග්‍යවන්තයෝ ය;
					ඔව්හු තෘප්තිමත් වන්නෝ ය;
				</verse>
				<verse number="7">දයාවන්තයෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දයාව ලබන්නෝ ය.</verse>
				<verse number="8">
					නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝ ය;
					ඔව්හු දෙවියන් වහන්සේ දකින්නෝ ය.
				</verse>
				<verse number="9">සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය යි කියනු ලබන්නෝ ය.</verse>
				<verse number="10">
					යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය;
					ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය;
				</verse>
				<verse number="11">
					මිනිසුන් මා නිසා ඔබට නින්දා පීඩා කොට, නානා විධ අසත්‍ය චෝදනා නඟන කල ඔබ භාග්‍යවන්තයෝ ය;
				</verse>
				<verse number="12">
					ප්‍රීති ප්‍රමෝද වන්න;
					මන්ද, ස්වර්ගයෙහි ඔබේ පලවිපාකය ඉමහත් ය. ඔබට පෙර සිටි දිවැසිවරයන්ටත් ඔව්හු එලෙස ම පීඩා කළහ.”
				</verse>
				<verse number="13">“ඔබ පොළොවේ ලුණු ය. ලුණෙහි ලුණු ගතිය නැති වුවහොත්, එයට ලුණු රස කවන්නේ කුමකින් ද? ඉන්පසු ඒවා ඉවත දමනු ලබන්නට ද, මිනිසුන්ගේ පයින් පාගනු ලබන්නට ද මිස, අන් කිසිවකට සුදුසු නැත.</verse>
				<verse number="14">“ඔබ ලෝකයේ ආලෝකය ය. කන්දක් මත පිහිටි නුවරක් සැඟවිය නොහැකි ය.</verse>
				<verse number="15">මිනිස්සු පහනක් දල්වා එය බඳුනක් යට නොව පහන් රුකක් මත තබති; එවිට එය ගෙදර වැසි සියල්ලන්ට එළිය දෙයි.</verse>
				<verse number="16">එමෙන්ම මිනිසුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියෙහි බබළවන්න.”</verse>
				<verse number="17">“මම ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය අවලංගු කරන පිණිස ආවෙමි යි නොසිතන්න. මා ආයේ, ඒවා අවලංගු කිරීමට නොව, සම්පූර්ණ කිරීමට ය.</verse>
				<verse number="18">සැබැවින් ම මම ඔබට කියමි, අහස හා පොළොව පහ ව ගියත්, සියල්ල පරිපූර්ණ වන තුරු, ව්‍යවස්ථාවලියෙන් ඉස්පිල්ලක් වත් පාපිල්ලක් වත් පහ වී නොයන්නේ ම ය.</verse>
				<verse number="19">එබැවින් මේ ආඥාවලින් ඉතා සුළු එකක් වත් කඩ කරන හා කඩ කරන ලෙස මිනිසුන්ට උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු ය යි කියනු ලබන්නේ ය. එහෙත්, ඒවා පිළිපදින, ඒවා උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි උතුම් ය යි කියනු ලබන්නේ ය.</verse>
				<verse number="20">මන්ද, ඔබ ධර්මිෂ්ඨකමින් විනයධරයන් ද පරිසිවරුන් ද ඉක්මවා නොගියොත්, ඔබ කිසි සේත් ස්වර්ග රාජ්‍යයට නොපිවිසෙන්නහු ය යි ඔබට කියමි.”</verse>
				<verse number="21">“ ‘මිනී නොමරන්න; මිනී මරන කවරෙකු වුව ද විනිශ්චයට යටත් වනු ඇතැ’යි පැරැන්නන්ට කී බව ඔබ අසා ඇත.</verse>
				<verse number="22">එහෙත්, මම ඔබට කියමි, තමාගේ සහෝදරයා සමඟ කෝප වන කවරෙකු වුව ද ඔහු අධිකරණයට යටත් වනු ඇත. තමාගේ සහෝදරයාට ‘මෝඩයා’ කියා ගරහන කවරෙකු වුව ද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට යටත් වනු ඇත; ‘ජඩයා’ කියා ගරහන කවරෙකු වුව ද ඔහු නිරා ගින්නට ගොදුරු වනු ඇත.</verse>
				<verse number="23">එබැවින් ඔබ පූජාසනය වෙත පඬුරක් ගෙනෙන කල, ඔබේ සහෝදරයා ඔබට විරුද්ධ ව යම් කිසි අමනාපයක් ඇති ව සිටින බව එහි දී සිහි වී නම්,</verse>
				<verse number="24">පඬුර පූජාසනය ඉදිරියෙහි තබා ගොස්, පළමුකොට සහෝදරයා හා සමගි වී, පසුව අවුත් පඬුර පුදන්න.</verse>
				<verse number="25">“ඔබේ විරුද්ධකාරයා සමඟ උසාවියට යන කල, මඟ දී ම ඉක්මනින් ඔහු හා සමගි වන්න; නැත්නම් විරුද්ධකාරයා ඔබ නඩුකාරයාට භාර දෙන්නේ ය; නඩුකාරයා ඔබ උසාවියේ නිලධාරියාට භාර දෙන්නේ ය; ඔබ ද හිරගෙයි දමනු ලබන්නෙහි ය.</verse>
				<verse number="26">සැබැවින් ම මම ඔබට කියමි, අන්තිම සතයට ම දඩය ගෙවන තෙක් ඔබ කිසි සේත් එයින් පිට වී නොයන්නෙහි ය.”</verse>
				<verse number="27">“ ‘ කාමමිථ්‍යාචාරය නොකරන්නැ’යි කී බව ඔබ අසා ඇත.</verse>
				<verse number="28">එහෙත්, මම ඔබට කියමි, යමෙකු ස්ත්‍රියක දෙස කාමරාගයෙන් බැලූ කෙණෙහි ම ඔහු ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය කර ඇත.</verse>
				<verse number="29">වරදට වැටීමට හේතුව ඔබේ දකුණැස නම්, එය උගුලා ඉවත ලන්න; මුළු ශරීරය නිරයෙහි හෙළනු ලැබීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැති වීම ඔබට යහපත.</verse>
				<verse number="30">වරදට වැටීමට හේතුව ඔබේ දකුණත නම්, එය කපා දමන්න; මුළු ශරීරය නිරාගත වීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැති වීම ඔබට යහපත.</verse>
				<verse number="31">“තවද, ‘තමාගේ භාර්යාව දික්කසාද කරන කවරෙකු වුව ද ඇයට දික්කසාද සහතිකයක් දිය යුතු ය’යි කියා ඇත.</verse>
				<verse number="32">එහෙත්, මම ඔබට කියමි, වේශ්‍යාකම හැර අන් කරුණක් නිසා සිය භාර්යාව දික්කසාද කරන කවරෙකු වුව ද ඔහු ඇය කාමමිථ්‍යාචාරයට පමුණු වන්නේ ය. එසේ දික්කසාද කරනු ලැබූ ඇය විවාහ කරගන්න යමෙක් වේ ද, ඔහුත් කාමමිථ්‍යාචාරය කරන්නේ ය.”</verse>
				<verse number="33">“ ‘ දිවුරුම් කඩ නොකරන්න, සමිඳාණන් වහන්සේට නුඹ දුන් දිවුරුම ඉටු කරන්නැ’යි පැරැන්නන්ට කී බව ඔබ අසා ඇත.</verse>
				<verse number="34">එහෙත්, මම ඔබට කියමි, කොහෙත් ම නොදිවුරන්න. ස්වර්ගය දෙවියන් වහන්සේගේ සිංහාසනය බැවින් ඒ නමින් වත්,</verse>
				<verse number="35">පොළොව දෙවියන් වහන්සේගේ පා පුටුව බැවින් ඒ නමින් වත්, ජෙරුසලම මහ රජුගේ රාජධානිය බැවින් ඒ නමින් වත් නොදිවුරන්න.</verse>
				<verse number="36">එක හිස කෙසක් සුදු කරගන්න හෝ කළු කරගන්න හෝ ඔබට නුපුළුවන් බැවින් හිස නමින් වත් නොදිවුරන්න.</verse>
				<verse number="37">ඔබේ අදහස ‘එසේ ය’ කීම නම්, ‘එසේ ය’ කියා ද, ‘නැත’ කීම නම්, ‘නැත’ කියා ද වේ වා. ඊට වැඩිමනත් යමක් ඇද්ද, එය එන්නේ නපුරාගෙන් ය.”</verse>
				<verse number="38">“ ‘ඇසට ඇස ය, දතට දත ය’ යන කීම ඔබ අසා ඇත.</verse>
				<verse number="39">එහෙත්, මම ඔබට කියමි, එදිරිකාරයාට විරුද්ධ ව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුල ද හරවන්න.</verse>
				<verse number="40">යමෙකු නඩු කියා ඔබේ කමිසය ගන්න කැමැති වුවොත්, ඔහුට ඔබේ කබායත් ගන්න අවසර දෙන්න.</verse>
				<verse number="41">හේවා නිලධාරියෙකු තම බඩු පොදිය එක කිලෝමීටරයක් දුර උසුලාගෙන යන්න ඔබට බල කළොත්, ඔහු සමඟ එය කිලෝමීටර් දෙකක් උසුලාගෙන යන්න.</verse>
				<verse number="42">ඔබෙන් ඉල්ලන්නාට දෙන්න; ඔබෙන් ණයට ගන්න කැමැති අයට පිටු නොපාන්න.”</verse>
				<verse number="43">“ ‘නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න, සතුරාට වෛර කරන්නැ’යි කී බව ඔබ අසා ඇත.</verse>
				<verse number="44">එහෙත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න.</verse>
				<verse number="45">මෙසේ ඔබ ස්වර්ගයෙහි වැඩ සිටින ඔබේ පියාණන් වහන්සේගේ පුත්‍රයෝ වන්නහු ය. කුමක් නිසා ද, උන් වහන්සේ දුදනන් හට හා සුදනන් හට තම හිරු එළිය උදා කරවන සේක; දමිටුන් හට හා අදමිටුන් හට වැසි වස්වන සේක.</verse>
				<verse number="46">ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරන්නහු නම්, එයින් ඇති විපාකය කුමක් ද? අයකැමියෝ පවා එසේ නොකරත් ද?</verse>
				<verse number="47">ඔබේ සහෝදරයන්ට පමණක් ඔබ ආචාර කරන්නහු නම්, එහි ඇති විශේෂය කුමක් ද? විජාතිකයෝ පවා එසේ නොකරත් ද?</verse>
				<verse number="48">එබැවින් ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ සර්ව සම්පූර්ණ ව සිටින්නාක් මෙන් ඔබ ද සර්ව සම්පූර්ණ වන්න.”</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">“මිනිසුන්ට පෙනෙන පිණිස ලෝකයා ඉදිරියෙහි ඔබේ පුණ්‍ය ක්‍රියා නොකරන්න බලාගන්න. එසේ කළහොත්, ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේගෙන් කිසි විපාකයක් ඔබට නොලැබෙන්නේ ය.</verse>
				<verse number="2">“එබැවින් ඔබ දන් දෙන කල, මිනිසුන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස ධර්මශාලාවල දීත්, වීථිවල දීත් කෛරාටිකයන් කරන්නාක් මෙන් ඔබට පෙරටුවෙන් හොරණෑ නොපිඹින්න. සැබැවින් ම, මම ඔබට කියමි, ඔවුන්ගේ විපාකය ඔවුන්ට දැනට ම ලැබී ඇත.</verse>
				<verse number="3">එහෙත්, ඔබ දන් දෙන කල, දකුණත කරන දෙය වමතට නොදැනේ වා.</verse>
				<verse number="4">ඒ දන් දීම රහසක් ව තිබිය යුතු ය. එවිට රහසින් එය දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.”</verse>
				<verse number="5">“ඔබ යාච්ඤා කරන කල කෛරාටිකයන් කරන්නාක් මෙන් නොකරන්න. මිනිසුන්ට පෙනෙන පිණිස ඔව්හු ධර්මශාලාවලත්, මංසන්ධිවලත් සිටගෙන යාච්ඤා කිරීමට ප්‍රිය වෙති. සැබැවින් ම මම ඔබට කියමි, ඔවුන්ගේ විපාකය දැනට ම ඔවුන්ට ලැබී ඇත.</verse>
				<verse number="6">එහෙත්, ඔබ යාච්ඤා කරන කල ඔබේ ම ඇතුළු කාමරයට වැද, දොර වසාගෙන, අදෘශ්‍යමාන ව වසන ඔබේ පියාණන් වහන්සේට යාච්ඤා කරන්න. එවිට රහසින් ඔබ කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.</verse>
				<verse number="7">“තවද, යාච්ඤා කිරීමේ දී විජාතීන් මෙන් දිගින් දිගට හිස් වචන නොදොඩන්න. ඔවුන් දොඩන වචන රාශිය නිසා, දෙවියන් වහන්සේ ඔවුන්ට කන් දෙනු ඇතැ යි ඔව්හු සිතති.</verse>
				<verse number="8">ඔවුන් හා සමාන නොවන්න. ඔබ ඉල්ලන්නටත් පෙර ඔබේ වුවමනා කවරේ දැ යි පියාණන් වහන්සේ දන්නා සේක.</verse>
				<verse number="9">එහෙයින් මෙසේ යාච්ඤා කරන්න: ‘ස්වර්ගයෙහි වැඩ වසන අපගේ පියාණෙනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේ වා,</verse>
				<verse number="10">ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේ වා, ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු වේ වා, ස්වර්ගයෙහි මෙන් පොළොවෙහි ද එසේ ම වේ වා.</verse>
				<verse number="11">අපගේ දවස්පතා ආහාරය අද අපට දුන මැනව.</verse>
				<verse number="12">අපට වරද කළ අයට අප කමා කළාක් මෙන් අපේ වරදට අපට කමා වුව මැනව.</verse>
				<verse number="13">
					අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප මිදුව මැනව.
				</verse>
				<verse number="14">“ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරද කමා කරන්නහු නම්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ ඔබටත් කමා කරන සේක.</verse>
				<verse number="15">එහෙත්, ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරදට කමා නොකරන්නහු නම්, පියාණන් වහන්සේ ඔබේ වරදටත් කමා නොකරන සේක.”</verse>
				<verse number="16">“ඔබ උපවාස කරන කල කෛරාටිකයන් මෙන් දොම්නස් මුහුණු ඇති ව නොසිටින්න. තමන් උපවාස කරන බව මිනිසුන්ට පෙනෙන පිණිස ඔව්හු මුහුණු විරූප කරගනිති. සැබැවින් ම මම ඔබට කියමි; ඔවුන්ගේ පල විපාක දැනට ම ඔවුන්ට ලැබී ඇත.</verse>
				<verse number="17">එහෙත්, ඔබ උපවාස කරන කල, හිස තෙල් ගල්වා, මුහුණ සෝදාගන්න.</verse>
				<verse number="18">මෙසේ, අදෘශ්‍යමාන ව වසන ඔබේ පියාණන් වහන්සේට මිස, ඔබ උපවාස කරන බව මිනිසුන්ට නොපෙනෙයි. එවිට රහසින් කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.”</verse>
				<verse number="19">“මෙලොව ඔබට වස්තු රැස්කර නොගන්න. මලකඩ ද කාවො‍් ද ඒවා කාදමති. සොරු ද උමං කැණ ඒවා සොරාගනිති.</verse>
				<verse number="20">එහෙත්, ස්වර්ගයෙහි ඔබට වස්තු රැස්කරගන්න. එහි දී මලකඩ වත් කාවෝ වත් ඒවා නාස්ති නොකරති. සොරු ද උමං කැණ ඒවා සොරා නොගනිති.</verse>
				<verse number="21">ඔබේ වස්තුව කොතැන ද ඔබේ සිතත් එතැන ය.”</verse>
				<verse number="22">“සිරුරට පහන ඇස ය. එහෙයින් ඔබේ ඇස නීරෝගි නම්, ඔබේ මුළු සිරුර ආලෝකවත් වේ.</verse>
				<verse number="23">ඔබේ ඇස රෝගී නම්, ඔබේ මුළු සිරුර ම අඳුරු වේ. ඔබ තුළ ඇති ආලෝකය අඳුරු වී ගියහොත්, එය කෙතරම් ඝන අන්ධකාරයක් ද?</verse>
				<verse number="24">“ස්වාමිවරුන් දෙදෙනෙකුට මෙහෙවර කිරීමට කිසිවෙකුට නුපුළුවන. මන්ද, ඔහු එක් කෙනෙකුට වෛර බැඳ අනික් අයට ප්‍රේම වන්නේ ය. නැතහොත්, එක් කෙනෙකුට ළැදි වී, අනික් අය හෙළා දක්නේ ය. දෙවියන් වහන්සේට සහ වස්තුවට සේවය කරන්න ඔබට නොහැකි ය.”</verse>
				<verse number="25">“එහෙයින් මම ඔබට කියමි: කුමක් කමු ද, කුමක් බොමු ද කියා ජීවිතය ගැන වත්, කුමක් අඳිමු ද කියා ශරීරය ගැන වත් කරදර නොවන්න. කෑමට වඩා ජීවිතය ද, ඇඳුමට වඩා ශරීරය ද අගනේ නොවේ ද?</verse>
				<verse number="26">අහසේ කුරුල්ලන් දෙස බලන්න. උන් වපුරන්නේ වත්, කපන්නේ වත්, අටුවල රැස්කරන්නේ වත් නැත. එහෙත්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ උන් පෝෂණය කරන සේක. ඔබ ඔවුන්ට වඩා බොහෝ වටිනවා නොවේ ද?</verse>
				<verse number="27">කරදර වීමනේ තමාගේ ආයු ප්‍රමාණය දික් කරගන්න ඔබ අතරෙන් කවරෙකුට පුළුවන් ද?</verse>
				<verse number="28">“ඔබ ඇඳුම් ගැන කරදර වන්නේ කුමට ද? කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න; ඒවා වෙහෙසෙන්නේ වත්, නූල් කටින්නේ වත් නැත.</verse>
				<verse number="29">එහෙත්, සියලු රාජ තේජසින් විරාජ මාන වූ සලමොන් වුව ද, මේ මල්වලින් එකක් සේ සැරසී නොසිටියේ යයි ඔබට කියමි.</verse>
				<verse number="30">ඇදහිල්ල හීන තැනැත්තෙනි! අද තිබී හෙට උදුනේ දැවීයන කෙතේ තණ කොළ දෙවියන් වහන්සේ එසේ සරසන සේක් නම්, ඊට කොපමණ වැඩියෙන් උන් වහන්සේ ඔබ නොසරසන සේක් ද?</verse>
				<verse number="31">එහෙයින් කුමක් කමු ද, කුමක් බොමු ද, කුමක් අඳිමු ද කියමින් කරදර නොවන්න.</verse>
				<verse number="32">විජාතීන් සෑම විට ම සොයන්නේත් මේවා ම ය; මේවා ඔබට ඕනෑ බව ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ දන්නා සේක.</verse>
				<verse number="33">එහෙත්, පළමු කොට උන් වහන්සේගේ රාජ්‍යය ද ධර්මිෂ්ඨකම ද සොයන්න; එවිට මේ සියල්ලත් ඔබට දෙනු ලැබේ.</verse>
				<verse number="34">එබැවින් හෙට දවස ගැන කරදර නොවන්න. හෙට දවසේ කරදර හෙට දවසට සෑහේ. එක දවසක කරදරවලට තව කරදර එකතු නොකරන්න.”</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">“විනිශ්චය නොකරන්න; එවිට ඔබ ද විනිශ්චය කරනු නොලබන්නෙහි ය.</verse>
				<verse number="2">ඔබ දෙන විනිශ්චයයෙන් ම ඔබත් විනිශ්චය කරනු ලබන්නෙහි ය. ඔබ මනින මිම්මෙන් ම ඔබටත් මැන දෙනු ලැබේ.</verse>
				<verse number="3">ඔබේ ම ඇසේ ඇති ලී කොටය ගැන නොතකා ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති ලී කුඩ ගැන බලන්නේ මන් ද?</verse>
				<verse number="4">නොහොත් ඔබේ ම ඇසෙහි ලී කොටය තිබිය දී, සහෝදරයාට කතා කොට, ‘ඔබේ ඇසේ තිබෙන ලී කුඩ පහ කරන්න ඉඩ දෙන්නැ’යි ඔහුට කියන්නේ කොහොම ද?</verse>
				<verse number="5">කෛරාටිකය, පළමු කොට ඔබේ ඇසෙන් ලී කොටය පහ කරන්න; එවිට සහෝදරයාගේ ඇසෙන් ලී කුඩ පහ කරන්න ඔබට හොඳින් පෙනෙනු ඇත.</verse>
				<verse number="6">“පූජනීය දේ බල්ලන්ට නොදෙන්න. ඔබේ මුතු ඇට ඌරන් ඉදිරියෙහි නොදමන්න. එසේ කළොත්, උන් ඒවා පයින් පාගාදමා හැරී අවුත් ඔබ කැබලි කොට ඉරාදමනු ඇත.”</verse>
				<verse number="7">“ඉල්ලන්න, ඔබට දෙනු ලැබේ; සොයන්න, ඔබට සම්බ වේ; තට්ටු කරන්න, ඔබට දොර අරිනු ලැබේ.</verse>
				<verse number="8">මන්ද, ඉල්ලන්නාට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටු කරන්නාට දොර අරිනු ලැබේ.</verse>
				<verse number="9">ඔබ අතරෙන් කවර මනුෂ්‍යයෙක් හෝ තමාගේ පුත්‍රයා පාන් ගෙඩියක් ඉල්ලුවොත් ඔහුට ගල් ගෙඩියක් දෙයි ද?</verse>
				<verse number="10">මාළුවෙකු ඉල්ලුවොත්, සර්පයෙකු දෙයි ද?</verse>
				<verse number="11">මෙසේ අයහපත් ඔබ, ඔබේ දරුවන්ට යහපත් දේ දෙන්න දන්නහු නම්, ස්වර්ගයෙහි සිටින, ඔබේ පියාණන් වහන්සේ තමන්ගෙන් ඉල්ලන්නන්ට යහපත් දේ ඊටත් වැඩියෙන් නොදෙන සේක් ද?”</verse>
				<verse number="12">“අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැති ද, ඔබත් ඒ දේ ම ඔවුන්ටත් කරන්න. ව්‍යවස්ථාවලියේ හා දිවැසාවලියේ හරය එය වේ.”</verse>
				<verse number="13">“පටු දොරටුවෙන් ඇතුළු වන්න. විනාශයට යන දොරටුව විශාල ය, පාරත් පළල් ය. එයින් ඇතුළු වන්නෝ ද බොහෝ ය.</verse>
				<verse number="14">එහෙත්, ජීවනයට යන දොරටුව පටු ය; පාර ද අවහිර ය; එය සොයාගන්නෝ ස්වල්ප දෙනෙක් පමණකි.”</verse>
				<verse number="15">“බොරු දිවැසිවරයන්ගෙන් පරෙස්සම් වන්න. පිටතින් බැටළු වෙස් ගෙන පැමිණියත්, ඔව්හු ඇතුළතින් රෞද්‍ර වෘකයෝ ය.</verse>
				<verse number="16">ඔවුන්ගේ ක්‍රියාවලින් ඔවුන් හඳුනාගත හැකි ය. මනුෂ්‍යයෝ කටු ගස්වලින් මිදි වත්, ගොකටුවලින් අත්තික්කා වත් නෙළා ගනිත් ද?</verse>
				<verse number="17">හොඳ ගස හොඳ පල දරයි; නරක ගස නරක පල දරයි.</verse>
				<verse number="18">හොඳ ගසේ නරක පල වත්, නරක ගසේ හොඳ පල වත් හටගන්නේ නැත.</verse>
				<verse number="19">හොඳ පල නොදරන සියලු ගස් කපා ගින්නට දමනු ලැබේ.</verse>
				<verse number="20">“මෙලෙස, ඔවුන්ගේ පලවලින් නුඹලා ඔවුන් හැඳින ගන්නහු ය.”</verse>
				<verse number="21">“ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන අය මිස මට, ‘ස්වාමීනි, ස්වාමීනි’යි කියන සියල්ලෝ ම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නෝ ය.</verse>
				<verse number="22">ඒ දවසේ දී බොහෝ දෙනෙක්, ‘ස්වාමීනි, ස්වාමීනි, අපි ඔබේ නාමයෙන් දිවැස් වැකි නොකීවෙමු ද? ඔබේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරු නොකෙළෙමු ද? ඔබේ නාමයෙන් නොයෙක් ප්‍රබල ක්‍රියා නොකෙළෙමු දැ’යි මට කියනු ඇත.</verse>
				<verse number="23">එවිට මම, ‘කිසි කලක ඔබ නොහැඳින්නෙමි; දුදනෙනි, මා වෙතින් අහක් ව යන්නැ’යි ඔවුන්ට කියන්නෙමි.”</verse>
				<verse number="24">“එහෙයින් යමෙක් මාගේ වචන අසා, ඒවා පිළිපදී ද, ඔහු පර්වතය මත තමාගේ ගෙය තනාගත් නැණවතෙකුට සමාන ය.</verse>
				<verse number="25">වැසි වැස, ජලය ගලා, සුළඟ හමා ඒ ගෙට ගැසී ය, එය පර්වතය මත පිහිටි බැවින් බිඳ නොවැටිණි.</verse>
				<verse number="26">තවද, යමෙක් මාගේ මේ වචන අසා, ඒවා නොපිළිපදී ද, ඔහු වැලි මත ගෙය තනාගත් අනුවණ මනුෂ්‍යයෙකුට සමාන ය.</verse>
				<verse number="27">වැසි වැස, ජලය ගලා, සුළඟ හමා ඒ ගෙට ගැසී ය, එය බිඳ වැටිණි. එහි වැටීම ද භයංකර විය.”</verse>
				<verse number="28">ජේසුස් වහන්සේ මේ වචන කියා නිම කළ කල්හි, සමූහයෝ උන් වහන්සේගේ අනුශාසනා ගැන විස්මිත වූ හ.</verse>
				<verse number="29">මන්ද, උන් වහන්සේ ඔවුන්ගේ විනයධරයන් මෙන් නොව, ආධිපත්‍යය ඇත්තෙකු මෙන් ඔවුන්ට අනුශාසනා කළ හෙයිනි.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">උන් වහන්සේ කන්දෙන් බැස ආ කල මහා ජනකායක් උන් වහන්සේ පසුපස්සේ ගියහ.</verse>
				<verse number="2">එකල ලාදුරු රෝගියෙක් උන් වහන්සේ වෙත අවුත්, වැඳ වැටී, “ස්වාමීනි, ඔබ කැමැති සේක් නම්, මා පවිත්‍ර කරන්න ඔබට පුළුවනැ”යි කී ය.</verse>
				<verse number="3">උන් වහන්සේ අත දිගු කොට, ඔහු පිට තබා, “මම කැමැත්තෙමි, පවිත්‍රවන්නැ”යි වදාළ සේක. එකෙණෙහි ම ඔහුගේ ලාදුරු රෝගය සුව විය.</verse>
				<verse number="4">ජේසුස් වහන්සේ කතා කොට, “මේ ගැන කිසිවෙකුට කිසිවක් නොකියන ලෙස වග බලා ගන්න; එහෙත් යන්න, පූජකයාට පෙනී, මෝසෙස් අණ කළ පඬුර සහතිකයක් පිණිස ඔප්පු කරන්නැ”යි ඔහුට වදාළ සේක.</verse>
				<verse number="5">උන් වහන්සේ කපර්ණවුමට ඇතුළු වූ කල එක් ශතාධිපතියෙක් උන් වහන්සේ වෙත අවුත්, කන්නලවු කරමින්,</verse>
				<verse number="6">“ස්වාමීනි, මාගේ මෙහෙකරුවා අංසබාග රෝගයෙන් දැඩි වේදනා විඳිමින් ගෙයි ඔත්පළ ව සිටී ය”යි කී ය.</verse>
				<verse number="7">“මම අවුත් ඔහු සුව කරමි”යි උන් වහන්සේ ඔහුට වදාළ සේක.</verse>
				<verse number="8">ශතාධිපතියා උත්තර දෙමින්, “ස්වාමීනි, ඔබ මාගේ නිවසට පැමිණීමට තරම් මම නොවටිමි. වචන මාත්‍රයක් පැවසුව මැනව. එවිට මාගේ මෙහෙකරුවා සුව වනු ඇත.</verse>
				<verse number="9">මන්ද, මම ද බලය ලත් අය යටතේ සිටින මිනිසෙක්මි. මා යටතේ ද හේවායෝ සිටිති. මා කෙනෙකුට, ‘යන්නැ’යි කී කල, ඔහු යන්නේ ය; කෙනෙකුට, ‘එන්නැ’යි කී කල, ඔහු එන්නේ ය. මාගේ දාසයාට, ‘මෙය කරන්නැ’යි කී කල ඔහු එය කරන්නේ ය”යි කීවේ ය.</verse>
				<verse number="10">ජේසුස් වහන්සේ ඒ අසා විස්මිත ව තමා පසුපස්සේ ආ අයට කතා කොට, “සැබැවින් ම මම ඔබට කියමි, එක ම ඉශ්රායෙල් මිනිසෙකු තුළ වත් මෙතරම් මහත් ඇදහිල්ලක් මම නුදුටිමි.</verse>
				<verse number="11">තවද, ඔබට කියමි, පෙර අපර දෙදිගින් බොහෝ දෙනෙක් අවුත්, ආබ්‍රහම් ද ඊසාක් ද ජාකොබ් ද සමඟ ස්වර්ග රාජ්‍යයෙහි අසුන් ගන්නෝ ය.</verse>
				<verse number="12">එහෙත්, රාජ්‍යයට හිමිකම් ඇත්තෝ පිටත අන්ධකාරයෙහි හෙළනු ලබන්නෝ ය. එහි හැඬීම ද දත්මිටි කෑම ද වන්නේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="13">ජේසුස් වහන්සේ ශතාධිපතියාට කතා කොට, “යන්න, ඔබ අදහාගත් ලෙස ම ඔබට වේ වා”යි වදාළ සේක. ඒ මොහොතේ දී ම මෙහෙකරුවා සුවපත් විය.</verse>
				<verse number="14">ජේසුස් වහන්සේ පේදුරුගේ ගෙට ඇතුළු වූ කල ඔහුගේ බිරිඳගේ මව උණ රෝගයෙන් ඔත්පල ව සිටිනු දැක,</verse>
				<verse number="15">ඇගේ අත ඇල්ලූ සේක. එවිට උණ බැස ගියේ ය. ඈ නැඟිට උන් වහන්සේට උපස්ථාන කළා ය.</verse>
				<verse number="16">සවස් වූ කල දුෂ්ටාත්මාවේශ වූ බොහෝ දෙනෙක් උන් වහන්සේ වෙත ගෙනෙන ලද්දෝ ය. උන් වහන්සේ වචන මාත්‍රයකින් අශුද්ධාත්මයන් දුරු කළ සේක; රෝගාතුර වූ සියල්ලන් සුවපත් කළ සේක.</verse>
				<verse number="17">මෙසේ වූයේ: “උන් වහන්සේ ම අපේ දුබලකම් දරා ගත් සේක; අපේ රෝ දුක් බර උසුලාගත් සේකැ”යි යෙසායා දිවැසිවරයා විසින් කියන ලද කීම ඉටු වන පිණිස ය.</verse>
				<verse number="18">ජේසුස් වහන්සේ මහා ජනකායක් තමන් පිරිවරා සිටිනු දැක මුහුදෙන් එගොඩ යන්න අණ දුන් සේක.</verse>
				<verse number="19">එවිට විනයධරයෙක් පැමිණ, “ගුරුදේවයෙනි, ඔබ යන කොතැනකට වුව ද ඔබ කැටුව එන්නෙමි”යි උන් වහන්සේට කී ය.</verse>
				<verse number="20">ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “හිවලුන්ට බෙන ද අහසේ කුරුල්ලන්ට කැදලි ද ඇත; එහෙත්, මනුෂ්‍ය-පුත්‍රයාණන්ට හිස තැබීමට තැනක් නැතැ”යි ඔහුට වදාළ සේක.</verse>
				<verse number="21">ශ්‍රාවකයින්ගෙන් තවත් කෙනෙක් කතා කරමින්, “ස්වාමීනි, පළමු කොට ගොස් මාගේ පියා භූමදාන කරන්න මට අවසර දුන මැනවැ”යි කී ය.</verse>
				<verse number="22">ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මා අනුව එන්න; මළවුන්ගේ භූමදානය මළවුන් ම කළාවේ”යයි ඔහුට වදාළ සේක.</verse>
				<verse number="23">උන් වහන්සේ ඔරුවකට නැඟුණු කල, ශ්‍රාවකයෝ උන් වහන්සේ සමඟ ගියහ.</verse>
				<verse number="24">එවිට ඔරුව රැළ පතරින් වැසී යන තරම් මහා චණ්ඩ මාරුතයක් මුහුදේ හැමී ය. උන් වහන්සේ ඔරුවේ සැතපී හුන් සේක.</verse>
				<verse number="25">එවිට ඔව්හු අවුත්, උන් වහන්සේ අවදි කරවා, “ස්වාමීනි, අප ගැළෙව්ව මැනව; අප විනාශ වන්න ළඟ යැ”යි කී හ.</verse>
				<verse number="26">උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඇදහිල්ල මඳකමක හැටි! බිය වන්නේ මන්ද” කියා, නැඟිට, මාරුතයට හා මුහුදට නිශ්චල වන්න අණ කළ සේක. එවිට මහත් නිසංසලයක් විය.</verse>
				<verse number="27">ඒ මනුෂ්‍යයෝ විස්මිත ව, “මෙතුමා කෙබඳු කෙනෙක් ද? සුළඟ හා මුහුද පවා මෙතුමාට කීකරු වෙතැ”යි කී හ.</verse>
				<verse number="28">උන් වහන්සේ එගොඩ ව, ගදරීන රටට පැමිණි කල, දුෂ්ටාත්මාවේශ වූ දෙදෙනෙක් සොහොන් ගෙවලින් නික්ම විත් උන් වහන්සේට මුණ ගැසුණාහ. ඔවුන් ඉතා දරුණු වූයෙන් ඒ පාරෙන් කිසිවෙකුට යන්න නොහැකි විය.</verse>
				<verse number="29">ඔව්හු මොරගසමින්, “දෙවියන් වහන්සේගේ පුත්‍රය, ඔබ හා අප අතර මොන ගනුදෙනුවක් ද? නියමිත මොහොතට පළමුවෙන් අපට වද දෙන පිණිස මෙහි ආ සේක් දැ”යි කී හ.</verse>
				<verse number="30">ඈතින් මහා ඌරු රැළක් ගොදුරුකමින් සිටියහ.</verse>
				<verse number="31">දුෂ්ටාත්ම කතා කරමින්, “ඔබ අප දුරු කරන සේක් නම්, ඌරු රැළට වැහෙන්නට අප හැරිය මැනවැ”යි උන් වහන්සේගෙන් අයැද සිටියහ.</verse>
				<verse number="32">“පලයව්” කියා උන් වහන්සේ ඔවුන්ට අණ කළ සේක. එවිට දුෂ්ටාත්ම පිට වී ගොස් ඌරන්ට වැහුණෝ ය. ඒ මුළු රැළ ප්‍රපාතයෙන් පහළ මුහුදට වේගයෙන් දිව ගොස් ජලයේ ගිලී මළෝ ය.</verse>
				<verse number="33">ඌරු ගොවුවෝ පලා ගොස් නුවරට පැමිණ ඒ සියල්ල ද දුෂ්ටාත්මාවේශ වූවන්ට සිදුවූ දේ ද පැවසූ හ.</verse>
				<verse number="34">එකල ඒ මුළු නුවර වැසියෝ ජේසුස් වහන්සේ හමු වීමට අවුත්, උන් වහන්සේ දැක, තමන්ගේ පළාතෙන් පිට වී යන ලෙස උන් වහන්සේගෙන් බැගෑපත් ව ඉල්ලා සිටියහ.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">ජේසුස් වහන්සේ ඔරුවට නැඟී, එගොඩ වී, සිය නුවරට පැමිණි සේක.</verse>
				<verse number="2">එවිට, අංසබාග රෝගියෙක් උන් වහන්සේ ළඟට යහනක තබා ගෙනෙන ලද්දේ ය. උන් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, “පුත්‍රය, ධෛර්යවත් වන්න; ඔබේ පව් කමා කරන ලද්දේ ය”යි අංසබාග රෝගියාට වදාළ සේක.</verse>
				<verse number="3">එකල විනයධරයන්ගෙන් ඇතැමෙක්, “මොහු දෙවියන් වහන්සේට අපහාස කරන්නේ ය”යි තමන්ට ම කියාගත්හ.</verse>
				<verse number="4">ජේසුස් වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන, “කුමක් නිසා නපුරු දේ සිතන්නහු ද?</verse>
				<verse number="5">වඩා පහසු කුමක් ද? ‘ඔබේ පව් කමා කරන ලදැ’යි කීම ද? නැතහොත්, ‘නැඟිට ඇවිදින්නැ’යි කීම ද?</verse>
				<verse number="6">එහෙත්, පොළොවෙහි දී පව් කමා කිරීමේ බලය මනුෂ්‍ය-පුත්‍රයාණන්ට තිබෙන බව ඔබට පෙන්වා දෙමි”යි කියමින්, “නැඟිට ඔබේ යහන රැගෙන ගෙදර යන්නැ”යි අංසබාග රෝගියාට වදාළ සේක.</verse>
				<verse number="7">එවිට ඔහු නැඟිට ගෙදර ගියේ ය.</verse>
				<verse number="8">සමූහයා ඒ දැක බිය වී, එබඳු බලය මිනිසුන්ට දුන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ.</verse>
				<verse number="9">ජේසුස් වහන්සේ එතැනින් යද්දී රේගු පොළේ හුන් මතෙව් නම් මිනිසෙකු දැක, “මා අනුව එන්නැ”යි ඔහුට වදාළ සේක. ඔහු නැඟිට උන් වහන්සේ අනුව ගියේ ය.</verse>
				<verse number="10">තවද, ජේසුස් වහන්සේ ඔහුගේ නිවෙසහි වැඩහුන් කල, බොහෝ අයකැමියෝ ද පව්කාරයෝ ද අවුත් උන් වහන්සේ සහ ශ්‍රාවකයන් සමඟ හිඳගත්හ.</verse>
				<verse number="11">පරිසිවරු ඒ දැක, “ඔබේ ඇදුරු තුමා අයකැමියන් ද පව්කාරයන් ද සමඟ කෑම කන්නේ මන්දැ”යි උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් ඇසූ හ.</verse>
				<verse number="12">උන් වහන්සේ ඒ අසා ඔවුන්ට කතා කොට, “රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත.</verse>
				<verse number="13">‘මම යාග පූජාවට නොව, දයාවට කැමැත්තෙමි’යි යන කීමේ අර්ථය ඔබ ගොස් තේරුම්ගන්න. මා ආයේ දමිටුන් නොව පවිටුන් කැඳවීමට ය”යි වදාළ සේක.</verse>
				<verse number="14">එකල ජොහන්ගේ ගෝලයෝ උන් වහන්සේ වෙත අවුත්, “පරිසිවරුත්, අපිත් නිතර උපවාස කරමු. එහෙත්, ඔබේ ශ්‍රාවකයන් උපවාස නොකරන්නේ මන්දැ”යි ඇසූ හ.</verse>
				<verse number="15">ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: “මනාලයා තමන් සමඟ සිටිය දී ඔහුගේ ඥාතිමිත්‍රාදීන්ට ශෝක විය හැකි ද? නොහැකි ය. එහෙත්, මනාලයා ඔවුන් කෙරෙන් වෙන් කරනු ලබන දවසක් පැමිණේ. ඔවුන් ඒ දවසේ දී උපවාස කරනු ඇත.</verse>
				<verse number="16">“තාන් රෙදිකඩකින් පරණ වස්ත්‍රයකට අණ්ඩයක් දමන කිසිවෙක් නැත; මන්ද, එසේ කළොත්, අණ්ඩයට ගත් රෙදි කඩින් වස්ත්‍රය ඇදී, ඉරුම වඩා ලොකු වේ.</verse>
				<verse number="17">නව මිදියුස පරණ බඳුන්වල වත් කරන කිසිවෙක් නැත. වත් කළොත්, බඳුන පැළී, මිදියුස ඉහිරී, බඳුනුත් නාස්ති වන්නේ ය. එසේ නොව, ඔව්හු නව මිදියුස නව බඳුන්වල වත් කරති; එවිට ඒ දෙක ම ආරක්ෂා වේ.”</verse>
				<verse number="18">උන් වහන්සේ මේ කරුණු කියමින් සිටිය දී එක්තරා ප්‍රධානියෙක් අවුත් උන් වහන්සේ නැමඳ, “මාගේ දුව මේ දැන් මළා ය. එහෙත්, ඔබ වහන්සේ අවුත් ඈ මත අත තැබුව මැනව; එවිට ඈ ජීවත් වනු ඇතැ”යි කී ය.</verse>
				<verse number="19">ජේසුස් වහන්සේ නැඟිට ඔහු පසුපස්සේ ගිය සේක, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ ද එසේ ම කළහ.</verse>
				<verse number="20">එවිට දොළොස් වසක් මහ ලේ රෝගයෙන් පෙළුණු ස්ත්‍රියක් උන් වහන්සේ පසුපස්සේ අවුත් උන් වහන්සේගේ සළුවේ දාවල්ලට අත තැබුවා ය.</verse>
				<verse number="21">එසේ කෙළේ, ‘උන් වහන්සේගේ සළුවට පමණ වත් අත තැබුවහොත් මට සුවය ලැබෙනු ඇතැ’යි ඈ සිතාගත් බැවිනි.</verse>
				<verse number="22">ජේසුස් වහන්සේ හැරී ඈ දැක, “දියණියනි, ධෛර්ය ගන්න; ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කෙළේ යැ”යි වදාළ සේක. ඒ ස්ත්‍රිය ඒ මොහොතේ පටන් සුවපත් වූවා ය.</verse>
				<verse number="23">ජේසුස් වහන්සේ ප්‍රධානියාගේ ගෙට ඇතුළු වී,</verse>
				<verse number="24">නළාකාරයන් ද ඝෝෂා කරමින් සිටි සමූහයා ද දැක, “අහකට යන්න; දැරිය මැරී නැත; ඈ නිදන්නී යැ”යි වදාළ සේක. එවිට ඔව්හු උන් වහන්සේට සරදම් කළහ.</verse>
				<verse number="25">එහෙත්, සමූහයා පිට කරනු ලැබූ පසු උන් වහන්සේ ඇතුළු වී ඇගේ අත ඇල්ලූසේක.</verse>
				<verse number="26">දැරිය නැඟිට්ටා ය. මේ සිද්ධිය පිළිබඳ පුවත මුළු රට පුරා පතළ විය.</verse>
				<verse number="27">ජේසුස් වහන්සේ එතැනින් යන කල අන්ධයෝ දෙදෙනෙක් මොරගසමින්, “දාවිත්ගේ පුත්‍රයාණෙනි, අපට අනුකම්පා කළ මැනව” කියමින් උන් වහන්සේ පසුපස ගියහ.</verse>
				<verse number="28">උන් වහන්සේ ගෙට පැමිණි කල ඒ අන්ධයෝ උන් වහන්සේ වෙත ආහ. “මට මෙය කළ හැකි බව ඔබ විශ්වාස කරන්නහු දැ”යි ජේසුස් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. “එසේය, ස්වාමීනි”යි ඔව්හු කී හ.</verse>
				<verse number="29">එවිට උන් වහන්සේ ඔවුන්ගේ ඇස් ස්පර්ශ කොට, “ඔබ විශ්වාස කළ ලෙස ම ඔබට වේ වා”යි වදාළ සේක.</verse>
				<verse number="30">ඔවුන්ගේ ඇස් පෑදිණි. “කිසිවෙකුට මෙපවත් නොකියන්නැ”යි ජේසුස් වහන්සේ ඔවුන්ට තදින් අණ කළ සේක.</verse>
				<verse number="31">එහෙත්, ඔව්හු නික්ම ගොස් උන් වහන්සේ ගැන ඒ පුවත මුළු රට පුරා පතළ කළහ.</verse>
				<verse number="32">ඔවුන් පිටත් ව යද්දී දුෂ්ටාත්මාවේශ වූ ගොළුවෙක් උන් වහන්සේ වෙත ගෙනෙන ලද්දේ ය.</verse>
				<verse number="33">දුෂ්ටාත්මය දුරු කරනු ලැබූ විට ගොළුවා කතා කරන්නට වන. එකල ජනකාය මවිත ව, “මෙවැන්නක් ඉශ්රායෙල් රටේ කිසි කලෙක දක්නට නොලැබිණි”යි කී හ.</verse>
				<verse number="34">එහෙත් පරිසිවරු කතා කරමින්, “මොහු දුෂ්ටාත්මයන් දුරු කරන්නේ දුෂ්ටාත්මාධිපතියාගේ අනුහසින් ය”යි කී හ.</verse>
				<verse number="35">ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල උගන්වමින් ද, රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කරමින් ද, හැම අන්දමේ ලෙඩ රෝග සුව කරමින් ද සියලු නුවරවල හා ගම්වල සැරිසැරූ සේක.</verse>
				<verse number="36">ජේසුස් වහන්සේ ජනකාය දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් දුක්ගැහැට විඳිමින් විසිර ගොස් සිටි බැවින් ඔවුන්ට අනුකම්පා කළ සේක.</verse>
				<verse number="37">එවිට උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට, “අස්වැන්න බහුල ය; ගොවීහු විරල ය.</verse>
				<verse number="38">එහෙයින් අස්වැන්න කැපීමට ගොවීන් එවන ලෙස අස්වැන්න භාර හිමියා හට අයැදින්නැ”යි වදාළ සේක.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් දොළොස් දෙනා තමන් වෙත කැඳවා, අශුද්ධාත්මයන් දුරු කරන පිණිස ද සියලු ආකාර ලෙඩ රෝග සුව කරන පිණිස ද ඔවුන්ට බලය පවරා දුන් සේක.</verse>
				<verse number="2">ප්‍රේරිතයන් දොළොස් දෙනාගේ නම් මෙසේ ය: පළමු ව පේදුරු නම් ලත් සීමොන් සහ ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ය; සෙබදීගේ පුත් ජාකොබ් සහ ඔහුගේ සොහොයුරු ජොහන් ය;</verse>
				<verse number="3">පිලිප් සහ බර්තොලමේව් ය; තෝමස් සහ අයකැමියා වන මතෙව් ය; අල්පෙවුස්ගේ පුත් ජාකොබ් සහ තද්දෙවුස් ය;</verse>
				<verse number="4">අන්ත ජාතිවාදී සීමොන් සහ උන් වහන්සේ පාවා දුන් ජූදස් ඉස්කාරියොත් යන මොවුහු ය.</verse>
				<verse number="5">ජේසුස් වහන්සේ මෙකී දොළොස් දෙනා යවමින් ඔවුන්ට මෙසේ අණ දුන් සේක: “විජාතීන්ගේ මාවතකට පා නොතබන්න; සමාරියයන්ගේ නුවරකට ඇතුළු නොවන්න;</verse>
				<verse number="6">ඉශ්රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙතට යන්න.</verse>
				<verse number="7">එසේ ගොස්, ‘ස්වර්ග රාජ්‍යය ළං වී ඇතැ’යි දේශනා කරන්න.</verse>
				<verse number="8">රෝගීන් සුව කරන්න, මළවුන් නැඟුටුවන්න, ලාදුරු රෝගීන් පවිත්‍ර කරන්න. දුෂ්ටාත්මයන් දුරු කරන්න. ඔබ නොමිලයේ ලැබුවහු ය, නොමිලයේ දෙන්න.</verse>
				<verse number="9">ඔබේ පසුම්බිවල රන් හෝ රිදී හෝ තඹ කාසි හෝ ගෙන නොයන්න.</verse>
				<verse number="10">ගමන් මල්ලක් වත්, කමිස දෙකක් වත්, වහන් සඟලක් වත්, සැරයටියක් වත් සපයා නොගන්න. මන්ද, සේවකයාට අවශ්‍ය දේ ඔහු ලැබිය යුතු ය.</verse>
				<verse number="11">ඔබ කවර නුවරකට හෝ ගමකට හෝ ඇතුළු වූ කල ඔබ පිළිගන්නට සතුටු කෙනෙකු සොයාගෙන, ඉන් නික්ම යන තුරු එහි ම නැවතී ඉන්න.</verse>
				<verse number="12">ගෙදරකට ඇතුළු වන විට එයට සුබ පතන්න.</verse>
				<verse number="13">ගෙයි වැසියෝ සුදුසු අය නම්, ඔබේ ඒ සුබ පැතුම ඔවුන් පිට පැමිණේ වා. එහෙත්, නුසුදුසු නම්, ඔබගේ ඒ සුබ පැතුම, යළි ඔබ වෙත පැමිණේ වා.</verse>
				<verse number="14">කවරෙකු වුව ද ඔබ පිළිගන්නේ වත්, ඔබගේ වචන අසන්නේ වත් නැත් නම්, ඒ ගෙදරින් හෝ ඒ නුවරින් හෝ නික්ම යන කල ඔබේ පාදවල දූවිලි ගසාදමන්න.</verse>
				<verse number="15">සැබැවින් ම මම ඔබට කියමි: දේව විනිශ්චය දවසේ දී ඒ නුවරට වඩා සොදොම් සහ ගොමොරා රටට සහනය ලැබෙන්නේ ය.”</verse>
				<verse number="16">“සවන් දෙන්න: මම වෘකයන් මැදට බැටළුවන් යවන්නාක් මෙන් ඔබ යවමි. එහෙයින් සර්පයන් මෙන් නැණවත් ව පරෙවියන් මෙන් අහිංසක ව සිටින්න.</verse>
				<verse number="17">ඒ නිසා මිනිසුන්ගෙන් පරෙස්සම් වන්න. මන්ද, ඔවුන් ඔබ උසාවිවලට පාවා දී, ඔවුන්ගේ ධර්මශාලාවල දී ඔබට තළනු ඇත.</verse>
				<verse number="18">ඔවුන්ට හා විජාතීන්ට සාක්ෂියක් පිණිස ඔබ මා නිසා ආණ්ඩුකාරයන් ද රජුන් ද ඉදිරියට ගෙනයනු ලබනු ඇත.</verse>
				<verse number="19">එහෙත්, ඔවුන් ඔබ පාවා දෙන කල, ඔබ කතා කළ යුත්තේ කෙසේ ද, කිව යුත්තේ කුමක් දැ යි සිතමින් කරදර නොවන්න. මන්ද, ඔබ කිව යුතු දේ නියම වේලාවේ දී ම ඔබට දෙනු ලැබේ.</verse>
				<verse number="20">කතා කරන්නේ ඔබ නොව, ඔබ තුළින් කතා කරන ඔබේ පියාණන්ගේ ආත්මයාණෝ ය.</verse>
				<verse number="21">“තවද, සහෝදරයා තම සහෝදරයා ද පියා තම දරුවා ද මරණයට පාවා දෙන්නෝ ය. දරුවෝ ද මවුපියන්ට විරුද්ධ ව නැඟී සිට ඔවුන් මරණයට පත් කරවන්නෝ ය.</verse>
				<verse number="22">මාගේ නාමය නිසා සියල්ලන් ඔබට වෛර කරනු ඇත. එහෙත්, අන්තිම දක්වා ස්ථීර ව සිටින්නා ගැළවෙන්නේ ය.</verse>
				<verse number="23">ඔවුන් එක් නුවරක දී ඔබට පීඩා කළහොත්, ඊළඟ නුවරට දිව යන්න. සැබැවින් ම මම ඔබට කියමි, මනුෂ්‍ය-පුත්‍රයාණන් එන්න පෙර, ඉශ්රායෙල්හි සියලු නුවරවල සැරිසරා නිමකරන්න ඔබට නොහැකි ය.</verse>
				<verse number="24">“ගෝලයෙක් සිය ගුරුවරයාට වඩා උසස් නොවේ. දාසයෙක් සිය ස්වාමියාට වඩා උසස් නොවේ.</verse>
				<verse number="25">ගෝලයා සිය ගුරුවරයාට සමාන වීමෙන් ද, සේවකයා සිය ස්වාමියාට සමාන වීමෙන් ද සෑහීමට පත් විය යුතු ය. ඔව්හු ගෘහ මූලිකයාට ‘බෙල්සෙබුල්’ යයි කීවොත්, ගෙයි වැසියන්ට ඊටත් වැඩියෙන් අපහාස නොකරත් ද?”</verse>
				<verse number="26">“එබැවින් මිනිසුන්ට බිය නොවන්න. මන්ද, දැන් සැඟ වී ඇති සෑම දේ ම හෙළි කරනු ලැබේ. සෑම රහසක් ම ප්‍රකට කරනු ලැබේ.</verse>
				<verse number="27">මා විසින් ඔබට අඳුරේ දී පවසන ලද දෙය ඔබ දවාලේ දී කියන්න. ඔබේ කනට රහසින් ඇසෙන දෙය, ගෙමුදුන්වලින් ප්‍රකාශ කරන්න.</verse>
				<verse number="28">ශරීරය නැසුවත්, ආත්මය නසන්න නුපුළුවන් අයට බිය නොවන්න. එහෙත්, ආත්මය ද ශරීරය ද නිරයෙහි විනාශ කරන්න පුළුවන් තැනැන් වහන්සේට ම බිය වන්න.</verse>
				<verse number="29">ගේ කුරුල්ලන් දෙදෙනෙකු තුට්ටුවකට විකුණනවා නොවේ ද? එහෙත්, එයින් එකෙක් වත් ඔබේ පියාණන් වහන්සේ නොදැනුවත් ව බිමට නොවැටෙන්නේ ය.</verse>
				<verse number="30">ඔබේ හිසකේ සියල්ල පවා ගණන් කොට ඇත.</verse>
				<verse number="31">එබැවින් බිය නොවන්න; ගේ කුරුල්ලන් රාශියකට වඩා ඔබ අගනේ ය.</verse>
				<verse number="32">යමෙක් මනුෂ්‍යයන් අබිමුවෙහි මා පිළිගත් බවට සාක්ෂි දරන්නේ ද, මමත් ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේ අබිමුවෙහි ඔහු පිළිගත් බවට සාක්ෂි දරන්නෙමි.</verse>
				<verse number="33">එහෙත්, යමෙක් මනුෂ්‍යයන් අබිමුවෙහි මා ප්‍රතික්ෂේප කරන්නේ ද, මමත් ස්වර්ගයේ වැඩ සිටින මාගේ පියාණන් වහන්සේ අබිමුවෙහි ඔහු ප්‍රතික්ෂේප කරන්නෙමි.”</verse>
				<verse number="34">“මම මිහි පිට සාමය දෙන පිණිස ආවෙමි යි නොසිතන්න; සාමය නොව කඩුවක් දෙන පිණිස ආවෙමි.</verse>
				<verse number="35">මන්ද, තම පුතා පියා සමඟ ද, දුව සිය මවු සමඟ ද, ලේලී සිය නැන්දම්මා සමඟ ද, භේද කරවන පිණිස ආවෙමි.</verse>
				<verse number="36">මිනිසෙකුගේ සතුරෝ නම් ඔහුගේ ම ගෙදර වැසියෝ ය.</verse>
				<verse number="37">මට වඩා පියාට වත්, මවුට වත් ප්‍රේම කරන්නා මට සුදුසු නො වේ. මට වඩා පුතාට වත්, දුවට වත් ප්‍රේම කරන්නා මට සුදුසු නො වේ.</verse>
				<verse number="38">සිය කුරුසිය දරා ගෙන මා අනුගමනය නොකරන තැනැත්තා මට සුදුසු නො වේ.</verse>
				<verse number="39">සිය දිවි රැකගන්නා එය නැති කරගනී. මා නිසා සිය දිවි නැති කරගන්නා එය රැකගනී.”</verse>
				<verse number="40">“ඔබ පිළිගන්නා මා පිළිගන්නේ ය; මා පිළිගන්නා මා එවූ තැනැන් වහන්සේ පිළිගන්නේ ය.</verse>
				<verse number="41">දිවැසිවරයෙකු වන නිසා දිවැසිවරයෙකු පිළිගන්නා දිවැසිවරයෙකුගේ විපාකය ලබයි; සත් පුරුෂයෙකු වන නිසා සත් පුරුෂයෙකු පිළිගන්නා සත් පුරුෂයෙකුගේ විපාකය ලබයි.</verse>
				<verse number="42">මේ මාගේ ශ්‍රාවකයන්ගෙන් ඉතා සුළු කෙනෙකුට වුව ද ඔහු ශ්‍රාවකයෙකු වන නිසා බොන්න ඇල් වතුර කෝප්පයක් වත් යමෙක් දෙන්නේ ද, සැබැවින් ම මම ඔබට කියමි, ඔහුගේ විපාකය කිසිසේත් නැති නොවන්නේ ය.”</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් දොළොස් දෙනාට උවදෙස් දී නිම කළ පසු එතැනින් පිටත් ව, ඔවුන්ගේ නුවරවල අනුශාසනා කරන පිණිසත්, දහම් දෙසන පිණිසත් ගිය සේක.</verse>
				<verse number="2">ක්‍රිස්තුන් වහන්සේගේ මෙහෙය ගැන හිරගෙයි දී ජොහන් හට ආරංචි වී,</verse>
				<verse number="3">“එන්න සිටින තැනැත්තේ ඔබ ද? නොහොත් අප වෙන කෙනෙකු ගැන බලා සිටිය යුතු දැ”යි ඇසීමට ඔහු සිය ගෝලයන් උන් වහන්සේ වෙත යැවී ය.</verse>
				<verse number="4">ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ඔබ ගොස් අසන දකින දේ ජොහන් හට දන්වන්න.</verse>
				<verse number="5">අන්ධයෝ පෙනීම ලබති; කොරු ඇවිදිති; ලාදුරු රෝගීහු පවිත්‍ර කරනු ලබති; බිහිරන්ට ඇසෙයි; මළාහු නැඟිටුවනු ලබති; දිළිඳුන්ට සුබ අස්න ප්‍රකාශ කරනු ලැබේ.</verse>
				<verse number="6">මා කෙරෙහි විශ්වාසය නැති කර නොගන්න තැනැත්තේ භාග්‍යවන්තයෙකි”යි ඔවුන්ට වදාළ සේක.</verse>
				<verse number="7">ඔවුන් යද්දී ජේසුස් වහන්සේ ජොහන් ගැන සමූහයාට කතා කරන්න පටන්ගෙන, මෙසේ වදාළ සේක: “ඔබ කුමක් බලන පිණිස පාළුකරයට ගියහු ද? සුළඟින් සැලෙන බට ගසක් ද?</verse>
				<verse number="8">නැතහොත් කුමක් බලන්න ගියහු ද? පට පිළියෙන් සැරසුණු මනුෂ්‍යයෙක් ද? බලන්න, පට පිළියෙන් සැරසුණු අය රජ මැදුරුවල සිටිති.</verse>
				<verse number="9">එහෙත්, කුමක් සඳහා පිටත් ව ගියහු ද? දිවැසිවරයෙකු බලන පිණිස ද? එසේය යි මම ඔබට කියමි. දිවැසිවරයෙකුටත් වඩා බොහෝ උතුම් කෙනෙකු බලන පිණිස ය.</verse>
				<verse number="10">මන්ද, කීවොත්: ‘මෙන්න, මාගේ දූතයා ඔබට පෙරටුව යවමි, හෙතෙම ඔබ වඩිනා මඟ ඔබ ඉදිරියෙහි පිළියෙළ කරන්නේ ය’යි ලියා තිබෙන්නේ මොහු ගැන නිසා ය.</verse>
				<verse number="11">සැබැවින් ම මම ඔබට කියමි, මුළු මිනිස් සංහතිය තුළ ජොහන්ට වඩා උතුම් කෙනෙක් පහළ නො වී ය. එහෙත් ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු තැනැත්තේ වුව ද, ඔහුට වඩා උතුම් ය.</verse>
				<verse number="12">ස්නාවක ජොහන්ගේ කාලයේ පටන් මේ දක්වා ස්වර්ග රාජ්‍යය බලහත්කාරකමට යට වී ඇත. බලහත්කාරකම් කරන්නෝ එය බලයෙන් අත්පත් කරගනිති.</verse>
				<verse number="13">මන්ද, දිවැසිවරු හා ව්‍යවස්ථාවලිය ජොහන් දක්වා දිවැස් වැකි කී හ.</verse>
				<verse number="14">ඔබ පිළිගන්න කැමැති නම්, එන්න සිටින එලියා මොහු ය.</verse>
				<verse number="15">සවන් ඇත්තෝ සවන් දෙත් වා!</verse>
				<verse number="16">මේ පරම්පරාව කුමකට සමාන කරම් ද? වෙළඳ පොළේ හිඳ තමන්ගේ යහළුවන්ට හඬගා,</verse>
				<verse number="17">‘අපි ඔබට නළා පිම්බෙමු, ඔබ නැටුවේ නැත; අපි ඔබට විලාප කීමු, ඔබ හැඬුවේ නැත’ කියන දරුවන්ට එය සමාන ය.</verse>
				<verse number="18">ජොහන් කමින් බොමින් ආවේ නැත. එබැවින්, ‘ඔහු දුෂ්ටාත්මාවේශ වූවෙකි’යි ඔව්හු කියති.</verse>
				<verse number="19">මනුෂ්‍ය-පුත්‍රයාණෝ කමින් බොමින් ආ සේක. එබැවින්, ‘බලන්න, ඔහු කෑදර මනුෂ්‍යයෙකි; මුද්‍රික පානය බොන්නෙකි; අයකැමියන්ගේ ද පව්කාරයන්ගේ ද යහළුවෙකි’යි ඔව්හු කියති. එහෙත්, දේව ප්‍රඥාව නිවැරදි බව එහි ක්‍රියාවලින් දිස්වේ.”</verse>
				<verse number="20">එකල උන් වහන්සේගේ ප්‍රබල ක්‍රියාවලින් බොහොමයක් කරනු ලැබූ නගරවල වැසියන් පසුතැවී සිත් හරවා නොගත් බැවින්, උන් වහන්සේ ඒවාට වරද තබන්න පටන්ගෙන මෙසේ වදාළ සේක:</verse>
				<verse number="21">“එම්බා කොරාශීනය, ඔබට වන විපතක මහත! එම්බා බෙත්සයිදාව, ඔබට වන විපතක මහත! ඔබ තුළ කළ ප්‍රබල ක්‍රියා, තීර්හි හා සීදොන්හි කළා නම්, ඒ නගර වැසියන් මීට බොහෝ කලින් ගෝණි රෙදි ඇඳ, අළුයෙහි හිඳ පසුතැවී සිත් හරවාගත් බව පෙන්වනු ඇත.</verse>
				<verse number="22">එසේ වුව ද දේව විනිශ්චය දවසේ දී ඔබට වඩා තීර් හා සීදොනයට සහනය ලැබෙන්නේ යයි කියමි.</verse>
				<verse number="23">එම්බා කපර්ණවුම, ඔබ සගලොව දක්වා උසස් කරනු ලබන්නෙහි ද? නැත, පාතාලය දක්වා පහත හෙළනු ලබන්නෙහි ය. ඔබ තුළ කරන ලද ප්‍රබල ක්‍රියා සොදොම්හි කරන ලද්දේ නම්, එය අද වන තුරු පවතිනු ඇත.</verse>
				<verse number="24">එසේ වුව ද දේව විනිශ්චය දවසේ දී ඔබට වඩා සොදොම් රටට සහනය ලැබෙන්නේ ය.”</verse>
				<verse number="25">ඒ අවස්ථාවේ දී ජේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළ සේක: “ස්වර්ගයටත්, පොළොවටත් ස්වාමීන් වන පියාණන් වහන්ස, ඔබ වහන්සේ මේ කරුණු පැණවතුන් හා නැණවතුන් කෙරෙන් ආවරණය කොට, බාලයන්ට අනාවරණය කළ හෙයින් ඔබට තුති පුදමි.</verse>
				<verse number="26">එසේ ය, පියාණෙනි, ඔබට ප්‍රිය මනාප එය ම ය.</verse>
				<verse number="27">මාගේ පියාණන් වහන්සේ සියල්ල මට පවරා දී ඇත. පියාණන් වහන්සේ හැර, අන් කිසිවෙක් පුත්‍රයාණන් නොහඳුනති. පුත්‍රයාණන් සහ පියාණන් වහන්සේ එළිදරව් කිරීමට පුත්‍රයාණන් විසින් තෝරාගනු ලැබූ යමෙක් වේ ද, ඔහු හැර අන් කිසිවෙක් පියාණන් වහන්සේ නොහඳුනති.</verse>
				<verse number="28">“වෙහෙස වන, බර උසුලන සියල්ලෙනි, මා වෙත එන්න; මම ඔබට සහනය දෙමි.</verse>
				<verse number="29">මා ගුණවත්, මෘදු, නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබට සහනය ලැබෙනු ඇත.</verse>
				<verse number="30">මාගේ වියගහ පහසු ය; මාගේ බර ද සැහැල්ලු ය.”</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">එකල සබත් දිනක දී ජේසුස් වහන්සේ කෙත් යායක් මැදින් වැඩිය සේක. උන් වහන්සේගේ ශ්‍රාවකයෝ බඩගිනි ව කරල් කඩා කන්නට පටන්ගත්හ.</verse>
				<verse number="2">පරිසිවරු ඒ දැක, “බලන්න, ඔබේ ශ්‍රාවකයෝ සබත් දිනයේ දී නොකටයුත්තක් කරති”යි කී හ.</verse>
				<verse number="3">උන් වහන්සේ කතා කොට ඔවුන්ට මෙසේ වදාළ සේක: “දාවිත් රජු තමාට ද සිය පිරිවරට ද බඩගිනි වූ කල්හි කළ දේ, එනම්, දෙවියන් වහන්සේගේ ගෘහයට ඇතුළු ව, පූජකයන්ට මිස තමාට වත්, තම පිරිවරට වත් කන්න යුතු නැති පිදූ රොටි කෑ බව ඔබ කියවා නැද් ද?</verse>
				<verse number="4">***</verse>
				<verse number="5">නොහොත් දේව මාලිගාවෙහි පූජකයන් සබත් දවසේ දී සබත් නීතිය කඩ කළත්, නිදොස් ව සිටින බව ව්‍යවස්ථාවලියෙහි කියවා නැද් ද?</verse>
				<verse number="6">එහෙත්, මම ඔබට කියමි, දේව මාලිගාවට වඩා උතුම් කෙනෙක් මෙහි සිටිති.</verse>
				<verse number="7">‘මම යාග පූජාවට නොව, දයානුකම්පාවට කැමැත්තෙමි’ යන කීමේ තේරුම ඔබ දැන සිටියහු නම්, නිදොස් අය පිට වරද නොතබනු ඇත.</verse>
				<verse number="8">මන්ද, මනුෂ්‍ය-පුත්‍රයාණෝ සබත් දිනට පවා අධිපතියාණෝ ය.”</verse>
				<verse number="9">උන් වහන්සේ එතැනින් නික්ම ගොස් ඔවුන්ගේ ධර්මශාලාවට පැමිණි සේක.</verse>
				<verse number="10">එහි අතක් පණ නැති මිනිසෙක් විය. සමහර අය උන් වහන්සේට වරද තබන පිණිස, “සබත් දිනයේ දී සුව කරන්න යුතු දැ”යි උන් වහන්සේගෙන් ප්‍රශ්න කළහ.</verse>
				<verse number="11">උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඔබ අතරෙන් එක බැටළුවෙකු පමණක් හිමි මිනිසෙකු ඒ බැටළුවා සබත් දිනක දී වළක වැටුණොත්, ඌ ඔසවා ගොඩ ගන්නේ නැද් ද?</verse>
				<verse number="12">ඉදින්, මිනිසෙකු බැටළුවෙකුට වඩා බොහෝ වටින්නේ නැද් ද? එබැවින් සබත් දිනයේ දී යහපත කරන්න යුතු ය”යි ඔවුන්ට වදාරා,</verse>
				<verse number="13">“ඔබේ අත දිගු කරන්නැ”යි ඒ මිනිසාට වදාළ සේක. ඔහු අත දිගු කෙළේ ය. එවිට එය අනික් අත මෙන් ම සුව විය.</verse>
				<verse number="14">එවිට පරිසිවරු නික්ම ගොස් උන් වහන්සේ නසන්නේ කෙසේ දැ යි කුමන්ත්‍රණය කළහ.</verse>
				<verse number="15">ජේසුස් වහන්සේ එපවත් දැන එතැනින් නික්ම ගිය සේක. විශාල ජනකායක් උන් වහන්සේ පසුපස්සේ ගියහ. උන් වහන්සේ සියල්ලන් සුව කොට,</verse>
				<verse number="16">තමන් වහන්සේ ගැන ප්‍රචාරය නොකරන ලෙස ඔවුන්ට අණ කළ සේක.</verse>
				<verse number="17">එසේ වූයේ, යෙසායා දිවැසිවරයා පවසන ලද මේ කීම ඉටු වන පිණිස ය:</verse>
				<verse number="18">
					“මෙන්න, මා තෝරාගත් මාගේ මෙහෙකරුවා, මා සිත්ගත් මාගේ පෙම්වතා, මාගේ ආත්මානුභාවය ඔහුට ප්‍රදානය කරමි;
					එකල ඔහු විජාතීන් හට යුක්තිය දන්වයි.
				</verse>
				<verse number="19">ඔහු කලහ කරන්නේ නැත: මොරගසන්නේ නැත; ඔහුගේ කටහඬ ද වීදිවල කිසිවෙකුට ඇසෙන්නේ නැත.</verse>
				<verse number="20">ඔහු යුක්තිය ජයට පමුණුවන තුරු තැළුණු බට දණ්ඩක් බිඳින්නේ නැත; දුම් නඟින පහන් තිරයක් නිවන්නේ නැත.</verse>
				<verse number="21">විජාතීහු ඔහු කෙරෙහි බලාපොරොත්තු තබති.”</verse>
				<verse number="22">එවිට දුෂ්ටාත්මාවේශ වූ, අන්ධ, ගොළු මිනිසෙක් උන් වහන්සේ වෙත ගෙනෙන ලද්දේ ය. උන් වහන්සේ ඔහු සුව කළ සේක. ඒ ගොළුවාට කතා ශක්තිය සහ ඇස් පෙනීම ලැබිණි.</verse>
				<verse number="23">මුළු ජනකාය විස්මපත් වූ හ. ඔව්හු, “මෙතුමාණන් දාවිත්ගේ පුත්‍රයා විය හැකි දැ”යි ඇසූ හ.</verse>
				<verse number="24">එවිට පරිසිවරු ඒ අසා, “මොහු දුෂ්ටාත්මාධිපතියා වන බෙල්සෙබුල්ගේ අනුහසින් මිස වෙන විධියකින් දුෂ්ටාත්මයන් දුරු නොකරති”යි කී හ.</verse>
				<verse number="25">උන් වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන ඔවුන්ට කතා කොට, මෙසේ වදාළ සේක: “යම් රාජ්‍යයක් ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒ රාජ්‍යය වැනසී යයි; යම් නුවරක් හෝ යම් ගෙදරක් හෝ ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒවා නොපවතියි.</verse>
				<verse number="26">සාතන් විසින් ම සාතන් දුරු කරනු ලැබේ නම්, ඔහු ඔහුට ම විරෝධී ව භේද වී සිටියි. එසේ නම්, ඔහුගේ රාජ්‍යය පවතින්නේ කෙසේ ද?</verse>
				<verse number="27">මා දුෂ්ටාත්මයන් දුරු කරන්නේ බෙල්සෙබුල්ගේ අනුහසින් නම්, ඔබේ ම අනුගාමිකයන් දුෂ්ටාත්මයන් දුරු කරන්නේ කවරෙකුගේ අනුහසින් ද? මේ අනුව ඔව්හු ම ඔබේ තර්කය බිඳදමති.</verse>
				<verse number="28">එහෙත්, මම දෙවියන් වහන්සේගේ ආත්මයාණන් අනුහසින් දුෂ්ටාත්මයන් දුරු කෙරෙම් නම් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඒකාන්තයෙන් ම ඔබ කෙරේ උදා වී තිබේ.</verse>
				<verse number="29">“තවද, බලවතෙකු පළමු කොට බැඳදමා මිස, ඔහුගේ ගෙට වැද, වස්තුව කොල්ලකන්ට කිසිවෙකුට හැකි වේ ද? ඔහු බැඳදැමූ පසු ඔහුගේ ගෙය කොල්ලකන්නේ ය.</verse>
				<verse number="30">මට පක්ෂ නොවන්නා, මට විපක්ෂ ය; මා සමඟ රැස් කිරීමට මට උදව් නොකරන්නා, එය විසුරුවා හරියි.</verse>
				<verse number="31">එහෙයින් මම ඔබට කියමි, හැම පාපය ම, හැම දේවාපහාසය ම මිනිසුන්ට කමා කරනු ලබන්නේ ය. එහෙත් ආත්මයාණන් වහන්සේට විරුද්ධ ව කරන අපහාසයට කමාවක් නැත.</verse>
				<verse number="32">යමෙක් මනුෂ්‍ය-පුත්‍රයාණන්ට විරුද්ධ ව වචනයක් කියන්නේ ද, එය ඔහුට කමා කරනු ලබන්නේ ය. එහෙත්, යමෙක් ශුද්ධාත්මයාණන්ට විරුද්ධ ව කතා කරන්නේ ද, එය ඔහුට මේ යුගයේ දී වත්, එන යුගයේ දී වත් කමා කරනු නොලබන්නේ ය.”</verse>
				<verse number="33">“ගස හොඳ නම්, පල හොඳ ය; ගස නරක නම්, පල නරක ය. ගස හැඳින්වෙන්නේ එහි පලවලිනි.</verse>
				<verse number="34">එම්බා පොළොං වංශය; නපුරු ඔබ, යහපත් දෙයක් කියන්නේ කෙසේ ද? මන්ද සිතින් උතුරා යන දෙය කටින් පිට වේ.</verse>
				<verse number="35">යහපත් මිනිසා තමා රැස් කළ යහපත් දෙයින් යහපත් දේ පිටතට ගෙනෙයි. නපුරු මිනිසා තමා රැස් කළ නපුරු දෙයින් නපුරු දේ පිටතට ගෙනෙයි.</verse>
				<verse number="36">තවද, මිනිසුන් දොඩන සියලු ප්‍රලාප ගැන දේව විනිශ්චය දවසේ දී ඔවුන් වගකිවයුතු යයි ඔබට කියමි.</verse>
				<verse number="37">ඔබේ ම වචන අනුව ඔබ නිදොස් බව ප්‍රකාශ කරනු ඇත; ඔබේ ම වචන අනුව ඔබ වරදට පත්වනු ඇත.”</verse>
				<verse number="38">එවිට විනයධරයන් හා පරිසිවරුන්ගෙන් සමහරෙක් කතා කරමින්, “ගුරුදේවයෙනි, ඔබ හාස්කමක් කරනු දකින්න අපි කැමැත්තෙමු”යි කී හ.</verse>
				<verse number="39">උන් වහන්සේ උත්තර දෙමින්, මෙසේ වදාළ සේක: “හාස්කමක් සොයන්නේ අදමිටු අදේවදෘෂ්ටික පරම්පරාවකි. එහෙත්, ජෝනා දිවැසිවරයා පිළිබඳ හාස්කම හැර වෙන හාස්කමක් ඔවුන්ට නොදෙනු ලැබේ.</verse>
				<verse number="40">ජෝනා තල්මසාගේ උදරයෙහි දහවල් තුනක් ද රෑ තුනක් ද සිටියාක් මෙන්, මනුෂ්‍ය-පුත්‍රයාණන් ද පොළෝ ගැබෙහි දාවල් තුනක් ද රෑ තුනක් ද සිටිනු ඇත.</verse>
				<verse number="41">දේව විනිශ්චය දවසේ දී නිනිවයේ මිනිසුන් මේ පරම්පරාවට විරුද්ධ ව නැඟිට එය වරදට පත් කරනු ඇත. මන්ද, ජෝනාගේ දේශනා කිරීමෙන් ඔව්හු පසුතැවී සිත් හරවා ගත් හ. මෙන්න, ජෝනාට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙහි තිබේ.</verse>
				<verse number="42">දේව විනිශ්චය දවසේ දී දකුණු දිශාවේ රැජිනිය මේ පරම්පරාවට විරුද්ධ ව නැඟිට එය වරදට පත් කරනු ඇත. මන්ද, එතුමිය සලමොන්ගේ ප්‍රඥාව අසනු වස් පොළොවේ සීමාවේ සිට පැමිණියා ය. මෙන්න, සලමොන්ගේ ප්‍රඥාවට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙහි ඇත.”</verse>
				<verse number="43">“අශුද්ධාත්මයක් මිනිසෙකුගෙන් දුරුව ගිය කල, ඔහු දිය නැති තැන්වල ඇවිද, විවේකයක් සොයා යන්නේ ය. එය නොලදහොත්,</verse>
				<verse number="44">‘මම නික්ම ආ මාගේ ගෙදරට පෙරළා යමි’යි කියයි. ඔහු එහි පැමිණි කල, ඒ ගෙදර හිස්ව, අතුගා, සකස් කොට තිබෙන බව දකියි.</verse>
				<verse number="45">එවිට ඔහු ගොස් තමාට වඩා අශුද්ධ වෙන ආත්මයන් සත් දෙනෙකු කැඳවාගෙන එන්නේ ය. ඔව්හු, එහි පිවිස එය අරක්ගනිති. මෙසේ ඒ මිනිසාගේ දෙ වන තත්ත්වය පළමු තත්ත්වයට වඩා නපුරු වන්නේ ය. මේ නපුරු පරම්පරාවට ද එසේ ම වනු ඇත.”</verse>
				<verse number="46">උන් වහන්සේ සමූහයාට කතා කරමින් සිටිය දී ම උන් වහන්සේගේ මෑණියෝ ද සහෝදරයෝ ද උන් වහන්සේ හා සමඟ කතා කරන්න ප්‍රස්තාවක් සොයමින් පිටත සිටියහ.</verse>
				<verse number="47">එවිට එක් කෙනෙක් උන් වහන්සේට කතා කොට, “බලන්න, ඔබේ මෑණියෝ ද සහෝදරයෝ ද ඔබ සමඟ කතා කරන්න ප්‍රස්තාවක් සොයමින් පිටත සිටිති”යි කී ය.</verse>
				<verse number="48">එහෙත්, උන් වහන්සේ එසේ කී අයට උත්තර දෙමින්, “මාගේ මෑණියෝ කවුරු ද? මාගේ සහෝදරයෝ කවුරු ද?” කියා</verse>
				<verse number="49">සිය ශ්‍රාවකයන් දෙසට අත දිගු කොට, “මෙන්න, මාගේ මෑණියෝ සහ සහෝදරයෝ!</verse>
				<verse number="50">ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවුරුන් වුව ද, ඔව්හු මාගේ සහෝදරයාත්, මාගේ සහෝදරීත්, මාගේ මෑණියෝත් ය”යි වදාළ සේක.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">එදින ම ජේසුස් වහන්සේ ගෙදරින් නික්ම ගොස් මුහුද අද්දර වැඩහුන් සේක.</verse>
				<verse number="2">අතිවිශාල සමූහයක් උන් වහන්සේ වෙත රැස් වූ බැවින් උන් වහන්සේ ඔරුවකට නැඟී හිඳගත් සේක. මුළු ජනකාය වෙරළෙහි සිටියහ.</verse>
				<verse number="3">උන් වහන්සේ ඔවුන්ට බොහෝ දේ උපමාවලින් පහදා දෙමින්, මෙසේ වදාළ සේක: “බලන්න, වපුරන්නෙක් වපුරන්නට ගියේ ය.</verse>
				<verse number="4">ඔහු වපුරන කල මෙසේ සිදුවිය: බීජ සමහරක් මඟ දිගේ වැටිණි. කුරුල්ලෝ අවුත් ඒවා අවුලාගෙන කෑහ.</verse>
				<verse number="5">සමහරක් පස තුනී ගල් බිම්වල වැටී, පස ගැඹුරු නුවූ බැවින් වහා ම පැළ විය.</verse>
				<verse number="6">එහෙත්, හිරු නැඟුණු කල, ඒවා දැවී මුල් නැති බැවින් වියළී ගියේ ය.</verse>
				<verse number="7">අන් සමහරක් කටු ගස් අතර වැටිණි; කටු ගස් වැවී ඒවා යටකර දැමී ය.</verse>
				<verse number="8">තවත් සමහරක් සරු බිමෙහි වැටී එකකින් සිය ගුණයක් ද එකකින් සැට ගුණයක් ද එකකින් තිස් ගුණයක් ද බැගින් පල දැරී ය.</verse>
				<verse number="9">සවන් ඇත්තෝ සවන් දෙත් වා!”</verse>
				<verse number="10">එවිට ශ්‍රාවකයෝ අවුත්, “ඔබ වහන්සේ ඔවුන්ට උපමාවලින් කතා කරන්නේ මන්දැ”යි ඇසූ හ.</verse>
				<verse number="11">උන් වහන්සේ මෙසේ උත්තර දුන් සේක: “ස්වර්ග රාජ්‍යය පිළිබඳ අබිරහස ඔබට දන්වා දී ඇත. එහෙත්, ඔවුන්ට එසේ දී නැත.</verse>
				<verse number="12">යමෙකුට ඇත්තේ ද ඔහුට දෙනු ලැබේ; පමණටත් වඩා ඔහුට ලැබේ. යමෙකුට නැත්තේ ද ඔහුට ඇති දෙයත් ඔහුගෙන් ගනු ලැබේ.</verse>
				<verse number="13">එහෙයින් ඔවුන් දැක දැකත් නොදක්නා නිසා ද, අස අසාත් නොඅසන නිසා ද, වටහා නොගන්න නිසා ද ඔවුන්ට උපමා මඟින් කතා කරමි.</verse>
				<verse number="14">මෙසේ, යෙසායාගේ දිවැස් කීම ඔවුන් කෙරේ ඉෂ්ට වනු ඇත. එනම්: ‘ඔබ අස අසාත් තේරුම් නොගන්නහු ය; දැක දැකත් නොදක්නහු ය.</verse>
				<verse number="15">මේ සෙනඟගේ සිත් අඳුරු ය; ඔවුන්ගේ කන් වැසී ඇත. ඔවුන්ගේ ඇස් පිය වී ඇත. එසේ නොවී නම්, ඔවුන් ඇසින් බලා, කනින් අසා, සිතින් තේරුම්ගෙන හැරෙනු ඇත. මම ද ඔවුන් සුවපත් කරමි’ යනු යි.</verse>
				<verse number="16">එහෙත්, ඔබට ඇසින් පෙනෙන නිසා ද, කනින් ඇසෙන නිසා ද, ඔබ භාග්‍යවන්ත ය.</verse>
				<verse number="17">සැබැවින් ම මම ඔබට කියමි, බොහෝ දිවැසිවරයන් ද දැහැමි අය ද ඔබ දකින දේ දකින්ටත්, අසන දේ අසන්ටත් ආසා වූ නමුත්, ඔවුන් ඒවා දුටුවේ වත්, ඇසුවේ වත් නැත.”</verse>
				<verse number="18">“එබැවින් වපුරන්නා පිළිබඳ උපමාව තේරුම්ගන්න.</verse>
				<verse number="19">යමෙක් රාජ්‍යය පිළිබඳ පණිවුඩය අසා එය වටහා නොගනී නම්, ඔහුගේ සිතේ වැපුරූ දේ නපුරා අවුත් පැහැරගනියි. මඟ දිගේ වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය.</verse>
				<verse number="20">පණිවුඩය ඇසූ කෙණෙහි ම එය සතුටින් පිළිගනිතත්, සිත්හි තැන්පත් වී නැති බැවින්, මඳ කලක් පැවත, පණිවුඩය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි වහා ම කෙනෙක් පැකිළී වැටෙති. ගල් බිම්වල වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය.</verse>
				<verse number="21">***</verse>
				<verse number="22">පණිවුඩය අසා, මේ ජීවිතයේ කරදරවලින් ද වස්තු මායාවෙන් ද පණිවුඩය යටපත් වීම නිසා, කෙනෙක් පල නොදරති. කටු අතර වැටුණ බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය.</verse>
				<verse number="23">පණිවුඩය අසා එය වටහා ගෙන සිය ගුණයක් ද හැට ගුණයක් ද තිස් ගුණයක් ද බැගින් කෙනෙක් පල දරති. සරු බිමෙහි වැපුරූ බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය.”</verse>
				<verse number="24">උන් වහන්සේ තවත් උපමාවක් මෙසේ වදාළ සේක:</verse>
				<verse number="25">“ස්වර්ග රාජ්‍යය හොඳ බීජ වපුළ මිනිසෙකුට සමාන ය. මිනිසුන් නිදා සිටිය දී ඔහුගේ සතුරා අවුත් තිරිඟු අතර කිරිඳි වපුරා ගියේ ය.</verse>
				<verse number="26">තිරිඟු පැල නැඟී, කරල් හටගත් කල කිරිඳිත් මතු විය.</verse>
				<verse number="27">එවිට ගෘහ මූලිකයාගේ දාසයෝ අවුත්, ‘ස්වාමීනි, ඔබේ කෙතෙහි ඔබ හොඳ බීජ වපුළා නොවේ ද? එසේ නම් කිරිඳි කොහෙන් දැ’යි ඔහුගෙන් ඇසූ හ.</verse>
				<verse number="28">‘මෙය සතුරෙකුගේ වැඩක් ය’යි ඔහු කී ය. එවිට දාසයෝ කතා කොට, ‘එසේ නම්, අප ගොස් ඒවා උදුරාදමන්න දැ’යි ඔහුගෙන් ඇසූ හ.</verse>
				<verse number="29">එහෙත්, ඔහු උත්තර දෙමින්, ‘එසේ නොකරන්න. ඔබ කිරිඳි උදුරද්දී ඒ සමඟ තිරිඟුත් ඉදිරෙන්නට පුළුවන.</verse>
				<verse number="30">ගොයම් කපන කාලය දක්වා දෙවගේ ම එකට වැඩෙන්න හරින්න. ඉන්පසු ගොයම් කපන කාලයේ දී පළමු කොට කිරිඳි එකතු කොට දවන පිණිස මිටි බඳින්න. තිරිඟු මාගේ අටුවේ රැස් කරන්නැ යි කපන්නන්ට කියමි’යි කීවේ ය.”</verse>
				<verse number="31">උන් වහන්සේ ඔවුන් ඉදිරියෙහි තවත් උපමාවක් වදාරමින්, “ස්වර්ග රාජ්‍යය මෙබඳු ය. එක්තරා මිනිසෙක් සිය කෙතෙහි අබ ඇටයක් වපුළේ ය.</verse>
				<verse number="32">එය සියලු ම බීජවලට වඩා කුඩා වුවත්, වැඩුණු කල හැම පලා වර්ගවලට වඩා විශාල වී, අහසේ කුරුල්ලන් අවුත් එහි අතුවල ලැගුම් ගන්න තරම් ලොකු ගසක් වන්නේ ය”යි කී සේක.</verse>
				<verse number="33">උන් වහන්සේ තවත් උපමාවක් වදාරමින්, “ස්ත්‍රියක විසින් පිටි නැළි තුනක් සහමුලින් ම පිපෙන තුරු එහි දමන ලද මුහුන් පිඩකට ස්වර්ග රාජ්‍යය සමාන ය”යි කී සේක.</verse>
				<verse number="34">ජේසුස් වහන්සේ මේ සියල්ල ජනකායට උපමා මඟින් පැවසූ සේක. උපමාවක් නැති ව කිසිවක් ඔවුන්ට නොවදාළ සේක.</verse>
				<verse number="35">මෙසේ වූයේ: “මම උපමා මඟින් කතා කරමි, ලෝකයේ මුල සිට ම රහස් ව තිබුණු දේ හෙළි කරන්නෙමි”යි දිවැසිවරයන් ලවා පවසන ලද කරුණු ඉටු වන පිණිස ය.</verse>
				<verse number="36">එවිට උන් වහන්සේ ජනකාය යන්න හැර ගෙට වැඩිය සේක. ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත අවුත්, “කෙතේ කිරිඳි පිළිබඳ උපමාව අපට පහදා දුන මැනව”යි කී හ.</verse>
				<verse number="37">උන් වහන්සේ උත්තර දෙමින්, මෙසේ වදාළ සේක: “හොඳ බීජ වපුරන තැනැත්තේ නම්, මනුෂ්‍ය-පුත්‍රයාණෝ ය;</verse>
				<verse number="38">කෙත නම් ලෝකය ය; හොඳ බීජ නම් රාජ්‍යයට අයිති අය ය; කිරිඳි නම් නපුරාට අයිති අය ය.</verse>
				<verse number="39">ඒවා වපුළ සතුරා නම් යක්ෂයා ය; කපන කාලය නම් යුගාන්තය ය; කපන්නෝ නම් දේව දූතයෝ ය.</verse>
				<verse number="40">කිරිඳි එක් කොට ගින්නෙහි දවන්නේ යම් සේ ද, යුගාන්තයේ දී එසේ ම වන්නේ ය.</verse>
				<verse number="41">මනුෂ්‍ය-පුත්‍රයාණෝ ස්වකීය දූතයන් එවන සේක. ඔව්හු උන් වහන්සේගේ රාජ්‍යයේ බාධා උපදවන සියල්ල ද අදමිටුකම් කරන්නන් ද එක් කොට,</verse>
				<verse number="42">ගිනි උදුනෙහි හෙළන්නෝ ය. එහි දී වැලපීම ද දත්මිටි කෑම ද වන්නේ ය.</verse>
				<verse number="43">එකල දැහැමි අය තම පියාණන් වහන්සේගේ රාජ්‍යයෙහි සූර්යයා මෙන් බබළන්නෝ ය. සවන් ඇත්තෝ සවන් දෙත් වා!”</verse>
				<verse number="44">“ස්වර්ග රාජ්‍යය, කෙතක සඟවා තිබුණු නිධානයකට සමාන ය. එක්තරා මිනිසෙකුට එය සම්බ විය. ඔහුත් එය සඟවා තබා, මහත් ප්‍රීතියෙන් ගොස් තමා සන්තක සියල්ල විකුණා ඒ කෙත මිළ දී ගත්තේ ය.</verse>
				<verse number="45">“ස්වර්ග රාජ්‍යය, අගනා මුතු සොයා ගිය වෙළෙන්දෙකුට සමාන ය.</verse>
				<verse number="46">ඉතා අගනා මුතු ඇටයක් සම්බ වූ විට ඔහු ගොස් තමා සන්තක සියල්ල විකුණා එය මිලට ගත්තේ ය.</verse>
				<verse number="47">“ස්වර්ග රාජ්‍යය වනාහි, මුහුදේ හෙළන ලද, සියලු වර්ගවල මසුන් හසු කරගත් දැලකට සමාන ය.</verse>
				<verse number="48">ඒ දැල පිරුණු කල, ධීවරයෝ එය වෙරළට ඇද, හිඳගෙන, හොඳ මසුන් භාජනවලට එකතු කොට නරක මසුන් ඉවත දැමූ හ.</verse>
				<verse number="49">යුගාන්තයේ දී එසේ ම වන්නේ ය. දේව දූතයෝ නික්ම අවුත්, දමිටුන් කෙරෙන් අදමිටුන් වෙන් කොට,</verse>
				<verse number="50">අදමිටුන් ගිනි උදුනෙහි හෙළන්නෝ ය. එහි වැලපීම ද දත්මිටි කෑම ද වන්නේ ය.</verse>
				<verse number="51">“ඔබ මේ සියල්ල වටහා ගත්තහු දැ”යි උන් වහන්සේ ඇසූ සේක. “එසේ ය”යි ඔව්හු කී හ.</verse>
				<verse number="52">එවිට උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “එහෙයින් ස්වර්ග රාජ්‍යයෙහි ගෝලයෙකු බවට පත් වන යම් විනයධරයෙක් වේ ද, ඔහු සිය ගබඩාවෙන් නවීන දේත්, පැරණි දේත් පිටතට ගෙනෙන ගෘහ මූලිකයෙකුට සමාන ය”යි වදාළ සේක.</verse>
				<verse number="53">ජේසුස් වහන්සේ මේ උපමා කියා නිම කළ පසු එතැනින් නික්ම ගිය සේක.</verse>
				<verse number="54">උන් වහන්සේ සිය රටට පැමිණ, ධර්මශාලාවේ දී ඔවුන්ට ඉගැන් වූ සේක. ඔව්හු විස්මයට පත් ව, “මොහුට මේ ප්‍රඥාව හා හාස්කම් කිරීමේ බලය කොහෙන් ලැබුණේ ද?</verse>
				<verse number="55">මොහු වඩුවාගේ පුතා නොවේ ද? මොහුගේ මවගේ නම මරියා නොවේ ද? මොහුගේ සහෝදරයෝ ජාකොබ්, ජෝසෙප්, සීමොන් සහ ජූදස් නොවෙත් ද?</verse>
				<verse number="56">මොහුගේ සියලු සහෝදරියෝත් අප අතරෙහි නොවෙත් ද? එසේ නම්, මේ සියල්ල මොහුට කොහෙන් පහළ වී ද?” කියා,</verse>
				<verse number="57">උන් වහන්සේ ප්‍රතික්ෂේප කළහ. එහෙත් ජේසුස් වහන්සේ කතා කොට, “දිවැසිවරයෙකුට ගරුබුහුමන් නොලැබෙන්නේ සිය රටේ දීත්, සිය ගෙදර දීත් පමණකැ”යි වදාළ සේක.</verse>
				<verse number="58">ඔවුන්ගේ අවිශ්වාසය නිසා උන් වහන්සේ එහි දී බොහෝ හාස්කම් නොකළ සේක.</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">එසමයෙහි යුව රජ වූ හෙරොද් ජේසුස් වහන්සේගේ කීර්තිය ගැන අසා,</verse>
				<verse number="2">“මේ, මළවුන් කෙරෙන් නැඟිට සිටින ස්නාවක ජොහන් ය. මොහුට මේ ප්‍රබල ක්‍රියා කළ හැක්කේ ඒ නිසා ය”යි තමාගේ මෙහෙකරුවන්ට කී ය.</verse>
				<verse number="3">මන්ද, හෙරොද් සිය සොහොයුරු පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් නිසා ජොහන් අල්ලා බැඳ, හිර අඩස්සි කර තිබුණේ ය.</verse>
				<verse number="4">මෙසේ කෙළේ, “ඇය තබාගැනීම ඔබට යුතු නැතැ”යි ජොහන් ඔහුට කී බැවිනි.</verse>
				<verse number="5">ඔහු ජොහන් මැරීමට අදහස් කළ නමුත්, ජනතාව ජොහන් දිවැසිවරයෙකු ලෙස සැලකූ නිසා, ඔහු ඔවුන්ට බිය ව සිටියේ ය.</verse>
				<verse number="6">එහෙත්, හෙරොද්ගේ උපන් දිනය පැමිණි කල හෙරෝදියස්ගේ දුව පිරිස ඉදිරියෙහි රඟ පා හෙරොද්ගේ මන පිනවූවා ය.</verse>
				<verse number="7">එහෙයින් ඇය ඉල්ලන කවර දෙයක් හෝ ඇයට දීමට දිවුරුමකින් ඔහු පොරොන්දු විය.</verse>
				<verse number="8">ඈ ද සිය මවගේ උපදෙස් අනුව, “ස්නාවක ජොහන්ගේ හිස තැටියක ලා මෙහි දී මට දුන මැනවැ”යි කීවා ය.</verse>
				<verse number="9">ඒ ඇසූ රජ අතිශයින් ශෝක විය. එහෙත්, තමාගේ දිවුරුම නිසාත්, තමා සමඟ සිටි අමුත්තන් නිසාත්, ඔහු ඒ ඉල්ලීම ඉටු කිරීමට අණ දී,</verse>
				<verse number="10">කෙනෙකු යවා හිරගෙදර දී ජොහන්ගේ හිස සිඳ වී ය.</verse>
				<verse number="11">ඒ හිස තැටියක ලා ගෙනැවිත් තරුණියට දෙන ලද්දේ ය. ඈ එය සිය මව වෙත ගෙනාවා ය.</verse>
				<verse number="12">ජොහන්ගේ ගෝලයෝ අවුත් මෘත දේහය ගෙන ගොස්, තැන්පත් කොට, ඉක්බිති ජේසුස් වහන්සේට ඒ බව දැන්වූ හ.</verse>
				<verse number="13">ජේසුස් වහන්සේ ඒ අසා එතැනින් නික්ම, ඔරුවකින් හුදකලා තැනකට වෙන් ව වැඩිය සේක. ජනකාය ඒ අසා නුවරවලින් පිටත් ව අවුත් උන් වහන්සේ පස්සේ පයින් ගියහ.</verse>
				<verse number="14">උන් වහන්සේ ගොඩ බැස, විශාල ජනකායක් දැක, ඔවුන් කෙරෙහි අනුකම්පා කොට, ඔවුන්ගේ රෝගීන් සුවපත් කළ සේක.</verse>
				<verse number="15">සවස් වූ කල ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත අවුත්, “මෙය පාළු තැනකි; දැන් රෑ බෝ වී ඇත; ගම්වලට ගොස්, කෑම මිලට ගන්නා පිණිස, සමූහයා යන්න හැරිය මැනවැ”යි කී හ.</verse>
				<verse number="16">“ඔවුන් යවන්නට වුවමනාවක් නැත; ඔබ ඔවුන්ට කන්න දෙන්නැ”යි ජේසුස් වහන්සේ ඔවුන්ට වදාළ සේක.</verse>
				<verse number="17">ඔව්හු ද, “අප ළඟ මෙහි ඇත්තේ රොටි පහකුත් මසුන් දෙදෙනෙකුත් පමණකැ”යි උන් වහන්සේට කී හ.</verse>
				<verse number="18">“ඒවා මෙහි මා වෙත ගෙනෙන්නැ”යි උන් වහන්සේ වදාළ සේක.</verse>
				<verse number="19">තණ කොළ මත හිඳගන්නට ජනකායට අණ කොට, උන් වහන්සේ රොටි පහත්, මසුන් දෙදෙනාත් ගෙන, ස්වර්ගය දෙස බලා ආශීර්වාදය පවසා, රොටි කඩා ශ්‍රාවකයන්ට දුන් සේක. ශ්‍රාවකයෝ ද එය සෙනඟට දුන්හ.</verse>
				<verse number="20">හැම දෙනම කා තෘප්තියට පැමිණියහ. ඔව්හු ඉතිරි කැබලි එක් කොට කූඩා දොළසක් පුරවාගත්හ.</verse>
				<verse number="21">ස්ත්‍රීන් හා දරුවන් හැර, කෑම කෑ පුරුෂයෝ පන්දහසක් පමණ වූ හ.</verse>
				<verse number="22">ඉන්පසු උන් වහන්සේ සමූහයා පිටත් කර හරින අතර, ඔරුවට නැඟී, තමන්ට පළමුවෙන් එගොඩට යන ලෙස ශ්‍රාවකයන්ට නියම කළ සේක.</verse>
				<verse number="23">උන් වහන්සේ ජනකාය යැවූ පසු, යාච්ඤා කරන පිණිස වෙන් ව කන්දට වැඩිය සේක. සවස් වූ කල්හි උන් වහන්සේ තනි ව එහි සිටි සේක.</verse>
				<verse number="24">සුළඟ තදින් හැමූ බැවින් ඔරුව එවේලෙහි තරංගවල හැපෙමින්, ගැටෙමින් මුහුද මැද තිබිණි.</verse>
				<verse number="25">අලුයම තුනටත් හයටත් අතර උන් වහන්සේ ඔවුන් වෙත මුහුද මතුපිට ඇවිදගෙන ආ සේක.</verse>
				<verse number="26">ශ්‍රාවකයෝ උන් වහන්සේ මුහුද මත ඇවිදගෙන එනු දැක, කලබල වී, “ඒ අවතාරයකැ”යි කියමින්, බියෙන් මොරගැසූ හ.</verse>
				<verse number="27">එහෙත්, ජේසුස් වහන්සේ එකෙණෙහි ම ඔවුන්ට කතා කොට, “ධෛර්යවත් වන්න; මේ මම ය; බිය නොවන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="28">පේදුරු උත්තර දෙමින්, “ස්වාමීනි, ඔය ඔබ වහන්සේ නම්, වතුර මත ඔබ වෙත එන්න මට අණ කළ මැනවැ”යි කී ය.</verse>
				<verse number="29">“එන්නැ”යි උන් වහන්සේ වදාළ සේක. එවිට පේදුරු ඔරුවෙන් බැස, ජේසුස් වහන්සේ වෙත වතුර මත ඇවිදගෙන ගියේ ය.</verse>
				<verse number="30">එහෙත්, ඔහු මාරුතය වේගවත් බව දැක, බිය වී ගිලෙන්න පටන්ගෙන, “ස්වාමීනි, මා බේරාගත මැනවැ”යි මොරගැසී ය.</verse>
				<verse number="31">ජේසුස් වහන්සේ වහා ම අත දිගු කොට ඔහු අල්ලාගෙන, “ඔබේ ඇදහිල්ල කොතරම් හීන ද? සැක කෙළේ මන්දැ”යි විචාළ සේක.</verse>
				<verse number="32">ඔවුන් දෙදෙන ඔරුවට නැඟුණු කල සුළඟ නැවතිණි.</verse>
				<verse number="33">එවිට ඔරුවේ උන් අය, “ඒකාන්තයෙන් ම ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය”යි කියමින් උන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ නමස්කාර කළහ.</verse>
				<verse number="34">ඔව්හු එගොඩ වී ගෙන්නෙසරෙත් රටට පැමිණියහ.</verse>
				<verse number="35">ඒ රටේ මිනිස්සු උන් වහන්සේ ඇඳින, අවට පෙදෙස පුරා පණිවුඩ යවා, සියලු රෝගීන් උන් වහන්සේ වෙත ගෙන්වා,</verse>
				<verse number="36">උන් වහන්සේගේ සළුවේ දාවල්ල පමණ වත් ස්පර්ශ කරන්න රෝගීන්ට ඉඩ දෙන ලෙස, උන් වහන්සේගෙන් ඉල්ලා සිටියහ. එසේ ස්පර්ශ කළ සියල්ලෝ ම සුවපත් වූ හ.</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">එකල ජෙරුසලමෙන් පරිසිවරු ද විනයධරයෝ ද ජේසුස් වහන්සේ වෙත අවුත්</verse>
				<verse number="2">“ඔබේ ශ්‍රාවකයන් පරම්පරාගත සම්ප්‍රදායයන් කඩ කරන්නේ මන් ද? ඔව්හු අත් නොසෝදා ආහාර අනුභව කරති”යි කී හ.</verse>
				<verse number="3">උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, මෙසේ වදාළ සේක: “ඔබේ පරම්පරාගත සම්ප්‍රදායයන් පිළිපදින පිණිස ඔබ දෙවියන් වහන්සේගේ ආඥාව කඩ කරන්නේ මන් ද?</verse>
				<verse number="4">‘නුඹේ පියාට ද මවට ද ගෞරව කරන්න; පියා ගැන හෝ මවු ගැන හෝ අපවාද කියන්නා මරණය වින්ද යුතු ම ය’යි දෙවියන් වහන්සේ වදාළ සේක.</verse>
				<verse number="5">එහෙත්, කවරෙක් වුව ද පියාට හෝ මවට හෝ කතා කොට, ‘මම ඔබේ යහපත පිණිස දිය යුතු ව තිබුණු දීමනාව දෙවියන්ට පඬුරක් ලෙස කැප කෙළෙමි’යි කීමෙන් පසුව,</verse>
				<verse number="6">පියාට ගෞරව කිරීමට ඔහු බැඳී නැතැ යි ඔබ කියන්නහු ය. මෙසේ ඔබ තමන්ගේ පරම්පරාගත සම්ප්‍රදාය නිසා දෙවියන් වහන්සේගේ ආඥා අවලංගු කළහු ය.</verse>
				<verse number="7">කෛරාටිකයෙනි, යෙසායා ඔබ ගැන කී මේ දිවැස් වැකිය මැනවින් ඔබට ගැළපේ.</verse>
				<verse number="8">
					‘මුවින් මේ සෙනඟ මට ගරු කරති;
					සිතින් නම් මාගෙන් දුරු ව සිටිති.
				</verse>
				<verse number="9">මිනිස් ඔවා දෙව් දහම් සේ උගන්වමින්, නිකරුණේ මා නමදිති.’ “</verse>
				<verse number="10">උන් වහන්සේ සමූහයා කැඳවා ඔවුන්ට කතා කොට, “ඔබ සවන් දී හොඳින් තේරුම්ගන්න.</verse>
				<verse number="11">මිනිසා කෙලෙසනු ලැබීමට හේතු වන්නේ කටට ඇතුළු වන දේ නොව, කටින් නික්මෙන දේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="12">එවිට ශ්‍රාවකයෝ අවුත්, “ඔබගේ ඒ කීම අසා, පරිසිවරුන් තදින් අමනාප වූ බව ඔබ වහන්සේ දන්නා සේක් දැ”යි උන් වහන්සේගෙන් ප්‍රශ්න කළහ.</verse>
				<verse number="13">උන් වහන්සේ පිළිතුරු දෙමින්, “මාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ විසින් රෝපණය නොකරන ලද සියලු පැළෑටි උදුරා දමනු ලබන්නේ ය.</verse>
				<verse number="14">පරිසිවරුන්ගෙන් අපට කමක් නැත. ඔව්හු අන්ධයන්ගේ අන්ධ මාර්ගෝපදේශකයෝ ය. අන්ධයෙකු තව අන්ධයෙකුට මඟ පෙන්වන්නට ගියොත්, දෙදෙන ම වළක වැටෙනු ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="15">එවිට පේදුරු කතා කොට, “මේ උපමාව අපට පහදා දුන මැනවැ”යි උන් වහන්සේට කී ය.</verse>
				<verse number="16">උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: “ඔබට තවමත් තේරෙන්නේ නැද් ද?</verse>
				<verse number="17">කටට ඇතුළු වන සියල්ල උදරයට බැස, වැසිකිළියට යන බව ඔබට වැටහෙන්නේ නැද් ද?</verse>
				<verse number="18">එහෙත්, කටින් පිටවන දේ නික්මෙන්නේ සිතින් ය; මිනිසා කෙලෙසනු ලබන්නේ එයින් ය.</verse>
				<verse number="19">නපුරු චේතනා, මිනීමැරුම්, කාමරාග, සල්ලාලකම්, සොරකම්, බොරු සාක්ෂි සහ අපහාස නික්මෙන්නේ හදවතින් ය.</verse>
				<verse number="20">මිනිසා කෙලෙසනු ලබන්නේ මෙකී දේවලින්. එහෙත්, අත් නොසෝදා කෑමෙන් මිනිසා කෙලෙසනු නොලබන්නේ ය.”</verse>
				<verse number="21">ජේසුස් වහන්සේ එතැනින් නික්ම තීර් හා සීදොන් පෙදෙස්වලට වැඩිය සේක.</verse>
				<verse number="22">එක් කානානිය ස්ත්‍රියක් ඒ පෙදෙස්වල සිට අවුත්, “දාවිත්ගේ පුත්‍ර වූ ස්වාමීනි, මට අනුකම්පා කළ මැනව; මාගේ දුව බලවත් සේ දුෂ්ටාත්මාවේශ ව සිටින්නී ය”යි කියමින් මොරගැසුවා ය.</verse>
				<verse number="23">එහෙත් උන් වහන්සේ ඇයට වචනයකින් වත් පිළිතුරු නුදුන් සේක. උන් වහන්සේගේ ශ්‍රාවකයෝ අවුත්, “මේ ස්ත්‍රිය මොරගසමින් අප පස්සේ එන බැවින්, ඇයට යන්න කිව මැනවැ”යි උන් වහන්සේගෙන් ඉල්ලූ හ.</verse>
				<verse number="24">උන් වහන්සේ කතා කරමින්, “මා එවන ලද්දේ ඉශ්රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණකැ”යි වදාළ සේක.</verse>
				<verse number="25">එහෙත්, ඈ අවුත් පසඟ පිහිටුවා උන් වහන්සේට වැඳ, “ස්වාමීනි, මට පිහිට වුව මැනවැ”යි කීවා ය.</verse>
				<verse number="26">උන් වහන්සේ උත්තර දෙමින්, “දරුවන්ගේ කෑම ගෙන බල්ලන්ට දැමීම යුතු නැතැ”යි වදාළ සේක.</verse>
				<verse number="27">එහෙත් ඈ කතා කොට, “එසේ ය, ස්වාමීනි, බල්ලන් පවා තම ස්වාමිවරුන්ගේ මේසයෙන් වැටෙන කැබලි අවුලා කති”යි කීවා ය.</verse>
				<verse number="28">එවිට ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ස්ත්‍රිය, ඔබේ ඇදහිල්ල මහත් ය. ඔබේ කැමැත්ත ලෙස ම ඔබට වේ වා”යි වදාළ සේක. ඒ මොහොතේ පටන් ඇගේ දුව සුවපත් වූවා ය.</verse>
				<verse number="29">ජේසුස් වහන්සේ එතැනින් නික්ම, ගලීලයේ මුහුද ළඟට ගොස්, කන්දකට නැඟී වැඩහුන් සේක.</verse>
				<verse number="30">මහත් ජනකායක්, කොරුන් ද අබ්බාගාතයන් ද අන්ධයන් ද ගොළුවන් හා වෙනත් බොහෝ දෙනෙකුන් ද රැගෙන, ජේසුස් වහන්සේ වෙත අවුත් ඔවුන් උන් වහන්සේගේ පාමුල තැබූ හ. උන් වහන්සේ ඔවුන් සුවපත් කළ සේක.</verse>
				<verse number="31">එවිට ගොළුවන් කතා කරන බව ද, අබ්බාගාතයන් සුවපත් වී ඉන්න බව ද, කොරුන් ඇවිදින බව ද, අන්ධයන්ට ඇස් පෙනෙන බව ද දුටු ජනකාය පුදුම වී ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ.</verse>
				<verse number="32">ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් තමන් වෙත කැඳවා, “මේ සමූහයා ගැන මට ඉතා කණගාටු ය; ඔව්හු දැන් තුන් දවසක් ම මා සමඟ ය; ඔවුන්ට කෑමක් නැත; ඔවුන් බඩගින්නේ පිටත් කර යවන්න අකමැත්තෙමි; එසේ යැව්වොත්, මඟ දී ඔවුන් ක්ලාන්ත විය හැකි යැ”යි වදාළ සේක.</verse>
				<verse number="33">ශ්‍රාවකයෝ උන් වහන්සේට කතා කොට, “මෙතරම් මහත් සමූහයකට සෑහෙන තරම් කන්න දීමට මේ පාළුකරයෙහි අපට කෑම කොයින් දැ”යි ඇසූ හ.</verse>
				<verse number="34">ජේසුස් වහන්සේ කතා කොට, “ඔබ ළඟ රොටි කීයක් තිබේ දැ”යි ඇසූ සේක. “රොටි සතකුත් කුඩා මසුන් ස්වල්පයකුත් ය”යි ඔව්හු කී හ.</verse>
				<verse number="35">උන් වහන්සේ සමූහයාට බිම ඉඳගන්න අණ දී,</verse>
				<verse number="36">රොටි සත ද මසුන් ද ගෙන තුති පුදා, කඩා, ශ්‍රාවකයන්ට දුන් සේක. ශ්‍රාවකයෝ ඒවා සමූහයාට දුන්හ.</verse>
				<verse number="37">හැම දෙන ම කා සෑහීමට පැමිණියහ. ඔව්හු ඉතිරි වූ කැබෙලි එක් කොට කූඩා සතක් පුරවා ගත්හ.</verse>
				<verse number="38">ස්ත්‍රීන් හා දරුවන් හැර කෑම කෑ පුරුෂයෝ සාර දහසකි.</verse>
				<verse number="39">උන් වහන්සේ සමූහයා විසුරුවා හැර ඔරුවකට නැඟී මගදන් දේශ සීමාවලට වැඩිය සේක.</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">පරිසිවරු ද සද්දුසිවරු ද අවුත්, උන් වහන්සේ වචනයකින් අසු කරගනු පිණිස තමන්ට ස්වර්ගයෙන් හාස්කමක් පෙන්වන මෙන් උන් වහන්සේගෙන් ඉල්ලූහ.</verse>
				<verse number="2">උන් වහන්සේ උත්තර දෙමින්, “සවස් කාලයෙහි අහස රතු පැහැය ගන්නා නිසා කාලගුණය හොඳ ය කියා ද,</verse>
				<verse number="3">උදයෙහි අහස රතු හා අඳුරු ව තිබෙන නිසා අද කුණාටු ඇති දවසක් වන්නේ ය කියා ද ඔබ දන්නහු ය. ඔබ අහස බලා කාලගුණය තීරණය කරන්න දන්නහු ය. එහෙත්, තත්කාලීන ලකුණු විමසා දැනගන්න ඔබට නුපුළුවන.</verse>
				<verse number="4">අදමිටු අදේවදෘෂ්ටික පරම්පරාවක් හාස්කමක් සොයන්නේ ය. එහෙත්, දිවැසිවර ජෝනා පිළිබඳ හාස්කම හැර වෙන හාස්කමක් නොදක්වනු ලැබේ ය”යි කියා ඔවුන් අත්හැර නික්ම ගිය සේක.</verse>
				<verse number="5">ශ්‍රාවකයන් එගොඩට යද්දී රොටි ගෙන යන්න ඔවුන්ට අමතක විය.</verse>
				<verse number="6">ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “පරිසිවරුන්ගේ ද සද්දුසිවරුන්ගේ ද මුහුන්වලින් පරෙස්සම් වන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="7">“උන් වහන්සේ එසේ කියන්නේ අප රොටි නොගෙනා නිසා ය”යි ඔව්හු තම තමන් අතර කතා කරගත්හ.</verse>
				<verse number="8">ජේසුස් වහන්සේ ඒ බව දැන, “ඇදහිල්ල හීන තැනැත්තෙනි, ඔබට රොටි නැති නිසා ඔබ එසේ කතා කරන්නේ මන් ද?</verse>
				<verse number="9">ඔබට තව ම තේරුම් ගොස් නැද් ද? පන්දහසකට දුන් රොටි පහ ගැනත්, පසුව කූඩා කීයක් පුරවා ගත්තහු ද කියාත්,</verse>
				<verse number="10">සාර දහසකට දුන් රොටි හත ගැනත්, පසුව කූඩා කීයක් පුරවා ගත්තහු ද කියාත් මතක නැද් ද?</verse>
				<verse number="11">රොටි ගැන මා ඔබට කතා නොකළ බව තේරුම් නොගියේ කෙසේ ද? එහෙත්, පරිසිවරුන්ගේ ද සද්දුසිවරුන්ගේ ද මුහුන්වලින් පරෙස්සම් වන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="12">මෙයින් උන් වහන්සේ අදහස් කෙළේ රොටි සාදන මුහුන්වලින් පරෙස්සම් වීම නොව, පරිසිවරුන්ගේ ද සද්දුසිවරුන්ගේ ද ඉගැන්වීම්වලින් පරෙස්සම් වීම බව ඔව්හු තේරුම් ගත්හ.</verse>
				<verse number="13">ජේසුස් වහන්සේ පිලිප්පි කායිසාරියේ පෙදෙස්වලට පැමිණි කල, “මනුෂ්‍ය-පුත්‍රයාණෝ කවරෙක් ය කියා මිනිස්සු කියත් දැ”යි සිය ශ්‍රාවකයන්ගෙන් ඇසූ සේක.</verse>
				<verse number="14">ඔව්හු කතා කොට, “සමහරෙක්, ‘ස්නාවක ජොහන් ය’ කියා ද සමහරෙක්, ‘එලියා ය’ කියා ද, අන් සමහරෙක් ‘ජෙරෙමියා නොහොත් දිවැසිවරයන්ගෙන් කෙනෙක් ය’ කියා ද කියති”යි කී හ.</verse>
				<verse number="15">“එහෙත් ඔබ මා කවරෙකු කියා කියන්නහු දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක.</verse>
				<verse number="16">සීමොන් පේදුරු උත්තර දෙමින්, “ඔබ ක්‍රිස්තුවරයාණෝ ය, ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය”යි කී ය.</verse>
				<verse number="17">ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ජෝනාගේ පුත් සීමොන්, ඔබ ඉතා භාග්‍යවන්ත ය. මන්ද, ස්වර්ගයෙහි වැඩවසන මාගේ පියාණන් වහන්සේ විසින් මිස මනුෂ්‍ය මඟකින් මෙය ඔබට එළිදරව් නොකරන ලද්දේ ය.</verse>
				<verse number="18">මම ඔබට කියමි: ඔබ පේදුරු ය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනඟන්නෙමි. පාතාලයේ දොරටුවලට වුව ද, එය පරාජය නොකළ හැකි ය.</verse>
				<verse number="19">ස්වර්ග රාජ්‍යයේ යතුරු ඔබට දෙන්නෙමි. ඔබ පොළොවෙහි දී යමක් බඳින්නෙහි ද, එය ස්වර්ගයෙහි දී බඳිනු ලබන්නේ ය. ඔබ පොළොවෙහි දී යමක් මුදන්නෙහි ද එය ස්වර්ගයෙහි දී මුදනු ලබන්නේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="20">තවද, තමන් ක්‍රිස්තුන් වහන්සේ බව කිසිවෙකුට නොකියන ලෙස උන් වහන්සේ ශ්‍රාවකයන්ට අණ දුන් සේක.</verse>
				<verse number="21">එවක් පටන් ජේසුස් වහන්සේ, තමන් ජෙරුසලමට වැඩම කර, ප්‍රජා මූලිකයන්ගෙන් හා නායක පූජකයන්ගෙන් ද විනයධරයන්ගෙන් ද බොහෝ දුක් වේදනා විඳින්ටත් මරනු ලබන්ටත්, තුන් වන දා උත්ථාන කරනු ලබන්ටත් යන බව සිය ශ්‍රාවකයන්ට දන්වන්න පටන්ගත් සේක.</verse>
				<verse number="22">එවිට පේදුරු උන් වහන්සේ පැත්තකට කැඳවා තරවටු කරන්න පටන් ගෙන, “ස්වාමීනි, එය දුරින් ම දුරුවේ වා! එවැන්නක් ඔබට කවදාවත් සිදු නො වේ වා”යි කී ය.</verse>
				<verse number="23">එහෙත්, උන් වහන්සේ හැරී, පේදුරුට කතා කොට, “සාතන්, අහකට යව; නුඹ මට බාධාවකි; නුඹ සිතන්නේ මිනිසුන් සිතන විධියට මිස දෙවියන් වහන්සේ සිතන විධියට නොවේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="24">එවිට ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට මෙසේ වදාළ සේක: “යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තමකම නසා කුරුසිය දරමින් මා අනුව ඒවා!</verse>
				<verse number="25">මන්ද, සිය දිවි රැකගන්න කැමැති තැනැත්තේ එය නැති කරගන්නේ ය. මා උදෙසා සිය දිවි නැති කරගන්නා එය රැක ගන්නේ ය.</verse>
				<verse number="26">යමෙකු මුළු ලෝකය ම ලබාගත්තත්, සිය දිවි නැති කරගත්තොත් ඔහුට කිනම් ප්‍රයෝජනයක් ද? නොහොත් යමෙකුට සිය දිවි වෙනුවට කුමක් දිය හැකි ද?</verse>
				<verse number="27">මනුෂ්‍ය-පුත්‍රයාණෝ සිය පියාණන්ගේ තේජශ්‍රීයෙන් තම දූතයන් පිරිවරා වඩින සේක. එකල උන් වහන්සේ එකිනෙකාට තම තමන්ගේ ක්‍රියා අනුව පල විපාක දෙන සේක.</verse>
				<verse number="28">සැබැවින් ම මම ඔබට කියමි, මනුෂ්‍ය-පුත්‍රයාණන් ස්වකීය රාජ්‍යශ්‍රීයෙන් වඩිනු දක්නා තෙක් මෙහි සිටින්නවුන්ගෙන් සමහරෙක් කිසි සේත් මරණයට පත් නොවෙති.”</verse>
			</chapter>
			<chapter number="17">
				<verse number="1">සදවසකට පසු ජේසුස් වහන්සේ පේදුරු ද ජාකොබ් ද ඔහුගේ සහෝදර ජොහන් ද කැඳවාගෙන, වෙන් ව උස් කන්දකට වැඩිය සේක.</verse>
				<verse number="2">උන් වහන්සේ ඔවුන් අබිමුවෙහි අන්වෙසක් වූ සේක. උන් වහන්සේගේ මුහුණ හිරු මෙන් බැබළිණි; වස්ත්‍ර ද ආලෝකය මෙන් සුදු විය.</verse>
				<verse number="3">එකෙණෙහි ම මෝසෙස් ද එලියා ද උන් වහන්සේ සමඟ කතා කරමින් සිටිනු ඔවුන්ට පෙනිණි.</verse>
				<verse number="4">පේදුරු ජේසුස් වහන්සේට කතා කොට, “ස්වාමීනි, අපට මෙහි සිටින්න ලැබීම වාසනාවකි; ඔබ කැමැති සේක් නම්, මණ්ඩප තුනක්, එකක් ඔබට ද එකක් මෝසෙස්ට ද එකක් එලියාට ද සාදන්නෙමි”යි කී ය.</verse>
				<verse number="5">ඔහු කතා කරද්දී දීප්තිමත් වලාකුළක් ඔවුන් සිසාරා, පැතිරිණි. තවද, “මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; මම මොහු කෙරෙහි ඉතා ප්‍රසන්න වී සිටිමි; මොහුට සවන් දෙන්නැ”යි කියන හඬක් නික්මිණි.</verse>
				<verse number="6">ශ්‍රාවකයෝ ඒ අසා, අතිශයින් බියපත් වී මුහුණින් වැටුණාහ.</verse>
				<verse number="7">ජේසුස් වහන්සේ අවුත්, ඔවුන්ට අත ගසා, “නැඟිටින්න, බිය නොවන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="8">ඇස් ඔසවා බැලූ කල ඔව්හු ජේසුස් වහන්සේ හැර වෙන කිසිවෙකු නුදුටුවෝ ය.</verse>
				<verse number="9">ඔවුන් කන්දෙන් බැස එද්දී ජේසුස් වහන්සේ කතා කරමින්, “මනුෂ්‍ය-පුත්‍රයාණන් මළවුන් කෙරෙන් නැඟිටින තුරු මේ දර්ශනය කිසිවෙකුට නොකියන්නැ”යි ඔවුන්ට අණ කළ සේක.</verse>
				<verse number="10">උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කතා කොට, “එසේ නම්, එලියා පළමුවෙන් එන්න යුතු ය යි විනයධරයන් කියන්නේ මන්දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.</verse>
				<verse number="11">උන් වහන්සේ උත්තර දෙමින්, “එලියා එන බව ඒකාන්ත ය. ඔහු අවුත් සියල්ල යළි පිහිටුවන්නේ ය.</verse>
				<verse number="12">එහෙත්, ඔබට කියමි: එලියා දැනට ම පැමිණ සිටී, ඔව්හු ඔහු නොහැඳින, තමන් රිසි දෙය ඔහුට කළහ. එලෙස ම ඔවුන් මනුෂ්‍ය-පුත්‍රයාණන්ට ද පීඩා කරනු ඇතැ”යි ඔවුන්ට වදාළ සේක.</verse>
				<verse number="13">උන් වහන්සේ මෙය කීවේ ස්නාවක ජොහන් ගැන බව ශ්‍රාවකයෝ තේරුම්ගත්හ.</verse>
				<verse number="14">ඔවුන් සමූහයා ළඟට ආ කල, එක් මිනිසෙක් උන් වහන්සේ වෙත අවුත්, උන් වහන්සේ ඉදිරියෙහි දණින් වැටී,</verse>
				<verse number="15">“ස්වාමීනි, මාගේ පුත්‍රයාට අනුකම්පා කළ මැනව. ඔහු මීමැස්මොර රෝගයෙන් තදබල ලෙස පීඩා විඳියි; බොහෝ වර ගින්නෙහි ද වතුරෙහි ද වැටිණි;</verse>
				<verse number="16">මම ඔහු ඔබගේ ශ්‍රාවකයන් වෙත ගෙනාවෙමි; එහෙත්, ඔහු සුවපත් කිරීමට ඔවුන්ට නුපුළුවන් වී ය”යි කී ය.</verse>
				<verse number="17">ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “අහෝ! ඇදහිල්ල නොමැති හිතුවක්කාර පරම්පරාව, මා කොපමණ කල් ඔබ සමඟ සිටින්න ද? කොපමණ කල් ඔබ ගැන ඉවසන්න ද? ඔහු මා වෙත ගෙනෙන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="18">ජේසුස් වහන්සේ දුෂ්ටාත්මයට තරවටු කළ සේක. එවිට දුෂ්ටාත්මය ඔහුගෙන් දුරු ව ගියේ ය. ඒ මොහොතේ පටන් ළමයා සුවපත් විය.</verse>
				<verse number="19">එවිට ශ්‍රාවකයෝ පෞද්ගලික ව ජේසුස් වහන්සේ වෙතට අවුත්, “ඒ දුෂ්ටාත්මය දුරු කරන්න අපට බැරි වූයේ මන්දැ”යි ඇසූහ.</verse>
				<verse number="20">උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: “ඔබගේ ඇදහිල්ල මදිකම නිසා ය. සැබැවින් ම මම ඔබට කියමි: අබ මල් රේණුවක් පමණ වත් ඇදහිල්ල ඔබට ඇත්නම් මේ කන්දට, ‘මෙතැනින් එතැනට යව’යි කීවොත් එය යන්නේ ය; ඔබට නොකළ හැකි කිසිවක් නැත.”</verse>
				<verse number="21">***</verse>
				<verse number="22">ඔවුන් ගලීලයේ නැවතී සිටින අතර උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට, “මනුෂ්‍ය-පුත්‍රයාණෝ මිනිසුන් අතට පාවාදෙනු ලබන සේක.</verse>
				<verse number="23">ඔව්හු එතුමාණන් මරන්නෝ ය. එහෙත් තුන් වන දා එතුමාණෝ උත්ථාන කරනු ලබන සේකැ”යි වදාළ සේක. ඒ ඇසූ ඔව්හු අතිශයින් ශෝක වූ හ.</verse>
				<verse number="24">ඔවුන් කපර්ණවුමට ආ කල දේව මාලිගා බද්ද අය කරන්නෝ පේදුරු වෙතට අවුත්, “ඔබගේ ගුරුදේවයන් දේව මාලිගා බද්ද ගෙවන්නේ නැද්දැ”යි ඇසූහ.</verse>
				<verse number="25">“ගෙවන සේකැ”යි ඔහු කී ය. ඔහු ගෙට පිවිසි කල, යමක් කියන්න පෙර, ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, “සීමොන්, මේ ගැන ඔබගේ අදහස කුමක් ද? මෙලොව රජවරුන් සුංගම් නොහොත් ආදායම් ගන්නේ කාගෙන් ද? සිය සෙනඟගෙන් ද නොහොත් විදේශීන්ගෙන් දැ”යි ඇසූ සේක.</verse>
				<verse number="26">“විදේශීන්ගෙන් ය”යි ඔහු කී කල, ජේසුස් වහන්සේ කතා කොට, “එසේ නම් ස්වදේශීය සෙනඟ නිදහස් ය.</verse>
				<verse number="27">එහෙත්, අප ඔවුන්ට බාධාවක් නොවන පිණිස, ඔබ මුහුදට ගොස් බිළි බා, මුලින් ම අසුවන මාළුවා ගෙන, උගේ කට ඇරිය විට රිදී කාසියක් ඔබට සම්බ වන්නේ ය. එය ගෙන මා සහ ඔබ වෙනුවෙන් ඔවුන්ට දෙන්නැ”යි වදාළ සේක.</verse>
			</chapter>
			<chapter number="18">
				<verse number="1">එවේලෙහි ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙතට අවුත්, “ස්වර්ග රාජ්‍යයෙහි ඉතා ම උතුම් වන්නේ කවරෙක් දැ”යි ඇසූහ.</verse>
				<verse number="2">එවිට උන් වහන්සේ කුඩා දරුවෙකු තමන් වෙතට කැඳවා ඔවුන් මැද සිටුවා මෙසේ වදාළ සේක:</verse>
				<verse number="3">“සැබැවින් ම මම ඔබට කියමි, ඔබ වෙනස් වී කුඩා දරුවන් මෙන් නොවූවොත්, කිසි සේත් ස්වර්ග රාජ්‍යයට ඇතුළු නො වන්නහු ය.</verse>
				<verse number="4">එබැවින් මේ කුඩා දරුවා මෙන් යටහත් වන යමෙක් ඇද්ද, ස්වර්ග රාජ්‍යයෙහි ඉතා ම උතුම් වන්නේ ඔහු ය.</verse>
				<verse number="5">තවද, යමෙක් මාගේ නාමයෙන් මෙවැනි කුඩා දරුවෙකු පිළිගන්නේ ද ඔහු මා පිළිගන්නේ ය.”</verse>
				<verse number="6">“මා කෙරෙහි අදහාගත් මේ බාලයන්ගෙන් එකෙකු වත් නොමඟ යවන යමෙක් වේ ද, ඔහුගේ ගෙළ වටා මහා ඇඹරුම් ගලක් එල්ලා මුහුදු ගැඹුරෙහි ගිල්වා දැමීම ඔහුට යහපත.</verse>
				<verse number="7">මෙවැනි බාධා ලොවේ ඇතිවීම කොතරම් දුකක් ද? බාධා ඇතිවීම නියත ය; එසේ වුව ද යමෙකු නිසා බාධා ඇති වේ ද, ඒ තැනැත්තාට වන විපතක මහත!</verse>
				<verse number="8">ඔබගේ වැටීමට හේතුව ඔබගේ අත හෝ පය හෝ වේ නම්, එය කපා ඉවත ලන්න. දෑත දෙපා ඇති ව සදාතන ගින්නට හෙළනු ලැබීමට වඩා අබ්බාගාත ව නොහොත් කොර ව ජීවනයට පිවිසීම ඔබට යහපත ය.</verse>
				<verse number="9">ඔබගේ වැටීමට හේතුව ඔබගේ ඇස නම්, එය උපුටා අහක දමන්න. දෑස ඇති ව නිරාගින්නට හෙළනු ලැබීමට වඩා එක ඇසක් ඇති ව ජීවනයට පිවිසීම ඔබට යහපත.”</verse>
				<verse number="10">“මේ බාලයන්ගෙන් එකෙකු වත් හෙළා නොදැකීමට වගබලාගන්න. මන්ද, ‘ස්වර්ගයෙහි ඔවුන්ගේ දේව දූතයෝ ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි නිරතුරු ම සිටිති’යි මම ඔබට කියමි.</verse>
				<verse number="11">මනුෂ්‍ය-පුත්‍රයාණන් වැඩියේ, නැති වූවන් ගළවා ගන්නා පිණිස ය.</verse>
				<verse number="12">“ඔබ කුමක් සිතන්නහු ද? බැටළුවන් සියයක් ඇති යම් මිනිසෙක්, උන්ගෙන් එකෙකු මුළා ව ගියොත්, ඉතිරි අනූ නවදෙනා කඳුකරයේ ඉන්න හැර, මුළා ව ගිය එකා සොයා යන්නේ නැද් ද?</verse>
				<verse number="13">සැබැවින් ම ඔබට කියමි, ඌ සම්බ වුනොත් මුළා ව නොගිය අනූනව දෙනා ගැන ප්‍රීති වෙනවාට වඩා ඌ ගැන ප්‍රීති වන්නේ ය.</verse>
				<verse number="14">එසේ ම මේ බාලයන් එක් කෙනෙකු වත් විනාශ වීම ස්වර්ගයෙහි වැඩ වසන ඔබගේ පියාණන් වහන්සේගේ කැමැත්ත නො වේ.”</verse>
				<verse number="15">“ඔබගේ සහෝදරයා ඔබට විරුද්ධ ව පව් කළොත්, පෞද්ගලික ව ඔහු හමු වී ඔහුගේ වරද පෙන්වා දෙන්න. ඔබ කියන දේ ඔහු පිළිගත්තොත්, ඔබ ඔබේ සහෝදරයා දිනාගත්තෙහි ය.</verse>
				<verse number="16">නොපිළිගත්තොත්, සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන් දෙනෙකුගේ හෝ සාක්ෂියෙන් හැම පැමිණිල්ලක් ම ස්ථීර වන පිණිස ඔබ සමඟ තවත් එක් කෙනෙකු නොහොත් දෙදෙනෙකු කැඳවාගෙන යන්න.</verse>
				<verse number="17">ඔහු ඔවුන් කියන දේත් නොපිළිගත්තොත්, සභාවට දන්වන්න. සභාව කියන දේත් නොපිළිගත්තොත්, ඔහු විජාතිකයෙකු හෝ අයකැමියෙකු මෙන් සලකන්න.</verse>
				<verse number="18">“සැබැවින් ම මම ඔබට කියමි, ඔබ පොළොවෙහි දී යමක් බඳින්නහු ද, එය ස්වර්ගයෙහි දී බඳිනු ලබන්නේ ය. ඔබ පොළොවෙහි දී යමක් මුදන්නහු ද, එය ස්වර්ගයෙහි දී මුදනු ලබන්නේ ය.</verse>
				<verse number="19">“නැවතත් මම ඔබට කියමි, පොළොවෙහි ඔබෙන් දෙදෙනෙක් තමන් අයැදින කවර දෙයක් ගැන වුව ද එකඟ වන්නෝ නම්, ස්වර්ගයෙහි වසන මාගේ පියාණන් වහන්සේගෙන් ඒ දෙය ඔවුන්ට ලැබෙන්නේ ය.</verse>
				<verse number="20">මන්ද, යම් තැනක දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් රැස් ව සිටිත් ද එතැන ඔවුන් මැද මමත් වැඩ සිටිමි.”</verse>
				<verse number="21">එකල පේදුරු උන් වහන්සේ වෙතට අවුත්, “ස්වාමීනි, මට විරුද්ධ ව පව් කරන මාගේ සහෝදරයාට මා කී වාරයක් කමා විය යුතු ද? සත් වාරයක් දක්වා දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය.</verse>
				<verse number="22">ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, “සත් වාරයක් නොව, සත් වාර සැත්තෑවකි.</verse>
				<verse number="23">“මන්ද, ස්වර්ග රාජ්‍යය මෙවැන්නකට උපමා කළ හැකි ය: සිය දාසයන් සමඟ ගණන් හිලව් බැලීමට තීරණය කරගත් රජෙක් විය.</verse>
				<verse number="24">ඔහු එසේ කරන්න පටන්ගත් කල රුපියල් දෙකෝටියක් පමණ ණය වූ කෙනෙක් ඔහු වෙත ගෙනෙන ලද්දේ ය.</verse>
				<verse number="25">ණය ගෙවීමට ඔහුට කිසිවක් නොතිබුණු බැවින්, ස්වාමියා ඔහු ද ඔහුගේ බිරිඳ හා දරුවන් ද ඔහු සන්තක සියල්ල ද විකුණා ණය ගෙවන්න අණ කෙළේ ය.</verse>
				<verse number="26">එවිට ඒ දාසයා දණින් වැටී, ‘මා ගැන ඉවසන්න, මුළු ණය ගෙවන්නෙමි’යි කී ය.</verse>
				<verse number="27">ඒ දාසයාගේ ස්වාමියා ඔහු ගැන අනුකම්පාවෙන් පිරී, ඔහු ණයෙන් නිදහස් කොට කමාව දුන්නේ ය.</verse>
				<verse number="28">එහෙත්, ඒ දාසයා නික්ම ගොස්, තම සහකාර දාසයන්ගෙන් තමාට රුපියල් දෙසීයක් පමණ ණය ව සිටි කෙනෙකු දැක, ඔහුගේ බෙල්ල මිරිකා ඔහු අල්ලාගෙන, ‘මගේ ණය ගෙවාපන්නැ’යි කී ය.</verse>
				<verse number="29">එවිට ඔහුගේ සහකාර දාසයා බිම වැටී, ‘මා ගැන ඉවසන්න, ණය ගෙවන්නෙමි’යි කන්නලව් කරමින් කී ය.</verse>
				<verse number="30">එහෙත්, ඔහු නොඉවසා ණය ගෙවන තෙක් ඔහු හිර අඩස්සි කෙළේ ය.</verse>
				<verse number="31">ඔහුගේ සහකාර දාසයෝ සිදුවූ දේ දැක, අතිශයින් ශෝක වී, අවුත් සිදුවූ සියල්ල තම ස්වාමියාට දැන්වූ හ.</verse>
				<verse number="32">එවිට ඔහුගේ ස්වාමියා ඔහු කැඳවා කතා කොට, ‘දුෂ්ට දාසය, නුඹේ ඉල්ලීම නිසා මම ඒ ණය සියල්ල නුඹට කමා කෙළෙමි.</verse>
				<verse number="33">මා නුඹට අනුකම්පා කළාක් මෙන් ම, නුඹත් නුඹේ සහකාර දාසයාට අනුකම්පා කළ යුතුව තිබුණා නොවේ දැ’යි ඇසී ය.</verse>
				<verse number="34">ඔහුගේ ස්වාමියා කෝප ව ඔහු තමාට ගෙවිය යුතු සම්පූර්ණ ණය ගෙවන තෙක් ඔහු වධකයන්ට භාර දුන්නේ ය.</verse>
				<verse number="35">ඔබත් එකිනෙකා තමාගේ සහෝදරයාට මුළු සිතින් කමා නොකරන්නහු නම්, ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ද, එසේ ම ඔබටත් කමා නොකරනු ඇත.”</verse>
			</chapter>
			<chapter number="19">
				<verse number="1">තවද ජේසුස් වහන්සේ මේ වචන වදාරා නිම කොට, ගලීලයෙන් නික්ම ජොර්දානෙන් එගොඩ ජුදයේ පළාත්වලට පැමිණි සේක.</verse>
				<verse number="2">මහා ජනකායක් උන් වහන්සේ පසුපස්සේ ගියහ. උන් වහන්සේ එහි දී ඔවුන් සුවපත් කළ සේක.</verse>
				<verse number="3">පරිසිවරු උන් වහන්සේ වෙතට පැමිණ උන් වහන්සේ වචනයකින් අල්ලාගන්නා පිණිස, “යමෙකු විසින් කුමන කරුණක් නිසා වත් සිය භාර්යාව දික්කසාද කිරීම නීතියට අනුකූල දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.</verse>
				<verse number="4">උන් වහන්සේ උත්තර දෙමින්, “පටන් ගැන්මේ සිට ම මැවුම්කාරයාණන් පිරිමි ගැහැණු වශයෙන් මනුෂ්‍ය වර්ගයා මැවූ බව ඔබ කියවා නැද් ද?</verse>
				<verse number="5">ඒ නිසා මිනිසෙකු තම පියා ද මව ද අත්හැර සිය භාර්යාවට ඇලුම් වන බවත්, ඒ යුවල එක් කෙනෙකු වන බවත් දෙවියන් වහන්සේ වදාළ සේක.</verse>
				<verse number="6">මෙසේ ඔව්හු එවක් පටන් දෙදෙනෙකු නොව එක් කෙනෙක් වෙති. එබැවින් දෙවියන් වහන්සේ එක් කළ අය මනුෂ්‍යයා වෙන් නොකෙරේ වා”යි වදාළ සේක.</verse>
				<verse number="7">ඔව්හු කතා කොට, “එසේ වී නම් දික්කසාද සහතිකයක් දී ඇය අත් හරින්න මෝසෙස් අණ කෙළේ මන්දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.</verse>
				<verse number="8">උන් වහන්සේ පිළිතුරු දෙමින්, “මෝසෙස් ඔබගේ භාර්යාවන් දික්කසාද කිරීමට අවසර දුන්නේ ඔබගේ සිත් දැඩිකම නිසා ය. එහෙත්, පටන් ගැන්මේ සිට එසේ නො වී ය”යි ඔවුන්ට වදාළ සේක.</verse>
				<verse number="9">“තවදුරටත් මම ඔබට මෙසේ කියමි: වේශ්‍යාකම නිසා මිස තම භාර්යාව දික්කසාද කොට වෙන ස්ත්‍රියක සරණ පාවා ගන්න කවරෙක් නමුත් කාමමිථ්‍යාචාරය කරන්නේ ය; දික්කසාද කරනු ලැබූ ඒ ස්ත්‍රිය විවාහ කරගන්නා ද කාමමිථ්‍යාචාරය කරන්නේ ය.”</verse>
				<verse number="10">ශ්‍රාවකයෝ උන් වහන්සේට කතා කොට, “ස්ත්‍රිය හා පුරුෂයා අතර සම්බන්ධය මෙසේ නම්, විවාහ නොවී සිටීම වඩා හොඳ ය”යි කීහ.</verse>
				<verse number="11">එහෙත්, උන් වහන්සේ ඔවුන්ට කතා කරමින්, “දේව වරමක් ලැබූ අයට මිස, හැම දෙනාට ම මේ ප්‍රතිපත්තිය පිළිපැදිය නොහැකි ය.</verse>
				<verse number="12">මන්ද, උත්පත්තියෙන් ම විවාහ විය නොහැකි අය සිටිති; මනුෂ්‍ය බලපෑම නිසා විවාහ විය නොහැකි අය ද සිටිති; ස්වර්ග රාජ්‍යය අරභයා සිය කැමැත්තෙන් ම විවාහ නොවන අයත් සිටිති. මේ තත්ත්වය පිළිගන්න හැකි තැනැත්තේ පිළිගනී වා”යි වදාළ සේක.</verse>
				<verse number="13">එකල උන් වහන්සේගේ අත් ළදරුවන් පිට තබා යාච්ඤා කරන පිණිස, සමහරු උන් වහන්සේ වෙතට ඔවුන් ගෙනාහ. ශ්‍රාවකයෝ ඔවුන්ට තරවටු කළහ.</verse>
				<verse number="14">එහෙත්, ජේසුස් වහන්සේ කතා කොට, “ළදරුවන්ට මා වෙත එන්න ඉඩ හරින්න; ඔවුන් නොවළක්වන්න; මන්ද, ස්වර්ග රාජ්‍යය මෙවැන්නන්ගේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="15">උන් වහන්සේ ඔවුන් පිට අත් තබා එතැනින් නික්ම ගිය සේක.</verse>
				<verse number="16">වරක් එක් මිනිසෙක් උන් වහන්සේ වෙත අවුත්, “ගුරුදේවයෙනි, සදාතන ජීවනය ලබනු වස්, මා කුමන යහපතක් කළ යුතු දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය.</verse>
				<verse number="17">උන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ යහපත ගැන මාගෙන් විචාරන්නේ මන් ද? යහපත් ව සිටින්නේ එක ම එක කෙනෙකි. එහෙත්, ඔබ ජීවනයට ඇතුළු වන්න කැමැත්තෙහි නම් ආඥා පිළිපදින්නැ”යි ඔහුට වදාළ සේක.</verse>
				<verse number="18">“කොයි ආඥා දැ”යි ඔහු උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මිනී නොමරන්න; කාමමිථ්‍යාචාරය නොකරන්න; සොරකම් නොකරන්න; බොරු සාක්ෂි නොකියන්න;</verse>
				<verse number="19">නුඹේ පියාට ද මවට ද ගෞරව කරන්න; නුඹ, නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න යන මේවා ය”යි වදාළ සේක.</verse>
				<verse number="20">තරුණයා කතා කරමින්, “මේ සියල්ලක් ම පිළිපැදීමි; තව මට අඩු කිමෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය.</verse>
				<verse number="21">උන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ සර්ව සම්පූර්ණ වන්න කැමැත්තෙහි නම්, ගොස් ඔබ සතු සියල්ල විකුණා, දිළිඳුන්ට දෙන්න; එවිට ස්වර්ගයෙහි ඔබට සම්පත් ඇති වන්නේ ය; එන්න, ඔබ මා අනුගාමී වන්නැ”යි ඔහුට වදාළ සේක.</verse>
				<verse number="22">එහෙත්, ඒ තරුණයා ඒ කීම අසා, දොම්නස් සිතින් යන්න ගියේ ය. මන්ද, ඔහු බොහෝ ධනසම්පත් ඇති කෙනෙකු වූ බැවිනි.</verse>
				<verse number="23">එවිට ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට, “සැබැවින් ම මම ඔබට කියමි. ධනපතියෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීම දුෂ්කර ය.</verse>
				<verse number="24">යළිත් මම ඔබට කියමි, ධනපතියෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා ඔටුවෙකුට ඉදිකටු මලින් රිංගා යාම පහසු ය”යි වදාළ සේක.</verse>
				<verse number="25">ශ්‍රාවකයෝ ඒ අසා අතිශයින් මවිත වී, “එසේ නම් ගැළවීම ලැබිය හැක්කේ කවරෙකුට දැ”යි ඇසූ හ.</verse>
				<verse number="26">ජේසුස් වහන්සේ ඔවුන් දෙස බලා, “මිනිසුන්ට නම් එසේ කළ නොහැකි ය; එහෙත් දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය”යි වදාළ සේක.</verse>
				<verse number="27">එවිට පේදුරු කතා කරමින්, “බලන්න, අපි නම් සියල්ල අත්හැර දමා ඔබ අනුව ආවෙමු; එහෙයින් අපට කුමක් ලැබේ දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය.</verse>
				<verse number="28">ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, මෙසේ වදාළ සේක: “සැබැවින් ම මම ඔබට කියමි, මතු ඇති වන නව යුගයේ දී මනුෂ්‍ය-පුත්‍රයාණන් මහිමාන්විත ව සිංහාසනයේ වැඩ හිඳින කල, මා අනුගාමී වූ ඔබත් ඉශ්රායෙල් ගෝත්‍ර දොළොස විනිශ්චය කරමින් සිංහාසන දොළොසක් පිට හිඳින්නහු ය.</verse>
				<verse number="29">ඇරත් මාගේ නාමය නිසා, ගේදොර හෝ සොහොයුරන් හෝ සොහොයුරියන් හෝ පියා හෝ මව හෝ දූ පුතුන් හෝ ගම්බිම් හෝ අත්හළ කවරෙකු වුව ද, ඔහු ඒ වෙනුවට සිය ගුණයක් ලබන්නේ ය; සදාතන ජීවනය ද හිමි කරගන්නේ ය.</verse>
				<verse number="30">එහෙත් ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝ ද අන්තිමයෝ ප්‍රථමයෝ ද වන්නෝ ය.”</verse>
			</chapter>
			<chapter number="20">
				<verse number="1">උන් වහන්සේ මෙසේ ද වදාළ සේක: “ස්වර්ග රාජ්‍යය වූකලී තමාගේ මිදි වත්තට කුලීකරුවන් ගන්නා පිණිස එක් දිනක් අලුයම පිටත් ව ගිය ඉඩම් හිමියෙකුට සමාන ය.</verse>
				<verse number="2">ඔහු දිනකට රිදී කාසියක් බැගින් ගෙවීමට කුලීකරුවන්ට පොරොන්දු වී, තමාගේ මිදි වත්තට ඔවුන් යැවී ය.</verse>
				<verse number="3">උදේ නවයට පමණ ඔහු පිටත් ව ගොස්, කඩමණ්ඩියේ වැඩක් නැති ව සිටි තවත් අය දැක,</verse>
				<verse number="4">‘ඔබත් මිදි වත්තට යන්න, සෑහෙන කුලියක් ඔබට දෙමි’යි කී ය.</verse>
				<verse number="5">ඔව්හු වැඩට ගියහ. නැවත මද්දහනේ දී ද අපර භාග තුනට පමණ ද ඔහු පිටත් ව ගොස් එසේ ම කෙළේ ය.</verse>
				<verse number="6">සවස පහට පමණ ද පිටත් ව ගොස් එහි තවත් අය සිටිනු දැක, ‘ඔබ මෙතැන දවස තිස්සේ නිකම් සිටින්නේ මන්දැ’යි ඔවුන්ගෙන් ඇසී ය.</verse>
				<verse number="7">‘කිසිවෙකු අප වැඩට නොගත් නිසා ය’යි ඔව්හු කී හ. ‘ඔබත් මිදි වත්තට යන්නැ’යි ඔහු ඔවුන්ට කී ය.</verse>
				<verse number="8">“සවස් වූ කල මිදි වත්ත හිමියා සිය කළමනාකාරයාට කතා කොට, ‘කුලීකරුවන් කැඳවා අන්තිමට ආ අයගෙන් පටන්ගෙන පළමු වැන්නා දක්වා ඔවුන් හැමට කුලිය ගෙවන්නැ’යි කී ය.</verse>
				<verse number="9">එවිට සවස පහට පමණ වැඩට ආ අය අවුත් එක එක මිනිසා රිදී කාසිය බැගින් ලැබූ හ.</verse>
				<verse number="10">මුලින් ම වැඩට ගිය අය ආ විට තමන්ට ඊට වැඩියෙන් ලැබෙනු ඇතැයි සිතූ හ. එහෙත්, ඔව්හු ද එක එක මිනිසා රිදී කාසියක් බැගින් ලැබූ හ.</verse>
				<verse number="11">එසේ ලැබූ ඔව්හු ඉඩම් හිමියාට විරුද්ධ ව දොස් කියමින්,</verse>
				<verse number="12">‘මේ අන්තිමට ආ අය වැඩ කෙළේ එක පැයක් පමණි. එහෙත්, අවු රස්නය නොබලා මුළු දවසේ ම වෙහෙස මහන්සි වූ අපටත් ඔබ රිදී කාසියක කුලිය ම ගෙවන්නෙහි ය’යි කී හ.</verse>
				<verse number="13">එහෙත්, ඔහු ඔවුන්ගෙන් කෙනෙකුට උත්තර දෙමින්, ‘යහළුව, මා ඔබට අයුත්තක් කරනවා නොවේ. ඔබ මා සමඟ රිදී කාසියක කුලියට එකඟ වුණා නොවේ ද?</verse>
				<verse number="14">ඔබට දුන් කුලිය රැගෙන යන්න; ඔබට ගෙවූ ලෙස ම මේ අන්තිමයාටත් ගෙවීම මාගේ කැමැත්ත ය.</verse>
				<verse number="15">මා සන්තක දෙයින් මා කැමැති දෙයක් කිරීමට මට අයිතියක් තිබෙනවා නොවේ ද? මා කාරුණික බැවින් ඔබ ඊර්ෂ්‍යා වන්නේ මන්දැ’යි ඇසී ය.</verse>
				<verse number="16">මෙසේ අන්තිමයෝ ප්‍රථමයෝ ද ප්‍රථමයෝ අන්තිමයෝ ද වන්නෝ ය.”</verse>
				<verse number="17">ජේසුස් වහන්සේ ජෙරුසලමට යමින් සිටි සේක්, අතරමඟ දී ප්‍රේරිතයන් දොළොස් දෙනා වෙන් කොට ගෙන ඔවුන්ට කතා කොට,</verse>
				<verse number="18">“දැන් අපි ජෙරුසලමට යම්හ. මනුෂ්‍ය-පුත්‍රයාණෝ නායක පූජකයන්ටත්, විනයධරයන්ටත් පාවා දෙනු ලබන සේක. ඔව්හු එතුමාණන් මරණයට නියම කොට,</verse>
				<verse number="19">කවටකම් කිරීම ද තැලීම ද කුරුසියෙහි ඇණ ගැසීම ද සඳහා විජාතීන්ට පාවා දෙති. එහෙත්, තුන් වන දා එතුමාණෝ උත්ථාන කරනු ලබන සේකැ”යි වදාළ සේක.</verse>
				<verse number="20">එකල සෙබදීගේ පුත්‍රයන්ගේ මව ඇගේ පුත්‍රයන් හා සමඟ උන් වහන්සේ වෙත අවුත්, දණින් වැටී, එක් වරයක් ඉල්ලුවා ය.</verse>
				<verse number="21">උන් වහන්සේ කතා කරමින්, “ඔබ කුමක් ඉල්ලන්නෙහි දැ”යි ඇයගෙන් ඇසූ සේක. ඈ පිළිතුරු දෙමින්, “ඔබගේ රාජ්‍යයෙහි දී මේ මාගේ පුතුන් දෙදෙනාගෙන් එක් කෙනෙකු ඔබගේ දකුණු පසෙහි ද එක් කෙනෙකු වම් පසෙහි ද හිඳගැනීමට නියම කළ මැනවැ”යි කීවා ය.</verse>
				<verse number="22">එහෙත්, ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ඔබ ඉල්ලන්නේ කුමක් දැ යි ඔබ ම දන්නේ නැත. මා බොන්න යන දුක් වේදනා නමැති කුසලානෙන් බොන්න ඔබට හැකි දැ”යි ඇසූ සේක. “අපට හැකි ය”යි ඔව්හු පිළිතුරු දුන්හ.</verse>
				<verse number="23">උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “සැබැවින් ඔබ මාගේ කුසලානෙන් බොන්නහු ය. එහෙත් මාගේ දකුණු පසෙහි ද වම් පසෙහි ද හිඳගන්න දීම මා සතු දෙයක් නොවේ. මාගේ පියාණන් විසින් ඒවා යම් අය සඳහා නියම කරන ලද්දේ ද ඒවා අයිති ඔවුන්ට ය”යි වදාළ සේක.</verse>
				<verse number="24">දස දෙනා එපවත් ඇසූ විට ඒ සොහොයුරන් දෙදෙනා ගැන කෝප වූ හ.</verse>
				<verse number="25">එහෙත්, ජේසුස් වහන්සේ ඔවුන් තමන් වෙත කැඳවා මෙසේ වදාළ සේක: “විජාතීන්ගේ ආණ්ඩුකාරයින් ඔවුන් කෙරේ ආධිපත්‍යය පවත්වන බවත්, ඔවුන්ගේ ප්‍රධානීන් ඔවුන් කෙරේ බලය පවත්වන බවත් ඔබ දන්නහු ය.</verse>
				<verse number="26">එහෙත්, ඔබ අතර එසේ නොවිය යුතු යි. ඔබ අතර යමෙක් නායකයා වන්න කැමැත්තේ නම්, ඔහු ඔබේ සේවකයා වන්නේ ය.</verse>
				<verse number="27">ඔබ අතර යමෙක් ප්‍රධානියා වන්න කැමැත්තේ නම්, ඔහු ඔබේ දාසයා වන්නේ ය.</verse>
				<verse number="28">මනුෂ්‍ය-පුත්‍රයාණන් වැඩියේ සේවය ලබන්න නොව, සේවය කරන්නටත්, බොහෝ දෙනෙකුගේ මිදීම උදෙසා සිය දිවි පිදීමටත් ය.”</verse>
				<verse number="29">ඔවුන් ජෙරිකෝවෙන් පිටත් ව යද්දී මහා ජනකායක් උන් වහන්සේ පසුපස්සේ ගියහ.</verse>
				<verse number="30">පාර අද්දර හිඳගෙන උන් අන්ධයන් දෙදෙනෙක් ජේසුස් වහන්සේ ඒ අසලින් යන බව අසා, “ස්වාමීනි, දාවිත්ගේ පුත්‍රයාණෙනි, අපට අනුකම්පා කළ මැනවැ”යි මොරගැසූ හ.</verse>
				<verse number="31">එවිට සමූහයා ඔවුන්ට නිහඬ වන ලෙස සැර කළහ. එහෙත් ඔව්හු, “ස්වාමීනි, දාවිත්ගේ පුත්‍රයාණෙනි, අපට අනුකම්පා කළ මැනව” කියා වැඩි වැඩියෙන් මොරගැසූ හ.</verse>
				<verse number="32">ජේසුස් වහන්සේ නැවතී ඔවුන් කැඳවා, “මා ඔබට කුමක් කරදෙනවාට ඔබ කැමැති දැ”යි ඇසූ සේක.</verse>
				<verse number="33">“ස්වාමීනි, අපට පෙනීම දුන මැනවැ”යි ඔව්හු උන් වහන්සේට කී හ.</verse>
				<verse number="34">ජේසුස් වහන්සේ ඔවුන්ට අනුකම්පා කර, ඔවුන්ගේ ඇස් ස්පර්ශ කළ සේක. එකෙණෙහි ම ඔව්හු පෙනීම ලැබ උන් වහන්සේ පසුපස්සේ ගියහ.</verse>
			</chapter>
			<chapter number="21">
				<verse number="1">ඔව්හු ජෙරුසලමට ළං ව ඔලීව කන්ද සමීපයෙහි වූ බෙත්පාගයට පැමිණියහ. ජේසුස් වහන්සේ ශ්‍රාවකයන් දෙදෙනෙකු යවමින්,</verse>
				<verse number="2">“ඉදිරිපිට තිබෙන ගමට යන්න, ගිය කෙණෙහි ම එහි බැඳ සිටින කොටළු දෙනක හා ඈ සමඟ කොටළු නාම්බෙකු ඔබට සම්බ වනු ඇත. උන් ලිහා මා වෙතට ගෙනෙන්න.</verse>
				<verse number="3">යම් කෙනෙකු යමක් කීවොත්, ‘සමිඳාණන් වහන්සේට උන්ගෙන් වැඩක් ඇතැ’යි කියන්න; එවිට ඔහු වහාම උන් එවනු ඇතැ”යි ඔවුන්ට වදාළ සේක.</verse>
				<verse number="4">මෙසේ වූයේ දිවැසිවරයා ලවා කියවන ලද මේ දෙය ඉටු වන පිණිස ය. එනම්:</verse>
				<verse number="5">“බලන්න, ඔබේ රජ කොටළුවෙකු පිට, එසේ ය, කොටළු වස්සෙකු පිට නැඟී, යටහත් පහත් ලෙස ඔබ වෙත එන්නේ යයි සියොන් වැසියන්ට දන්වන්න” යනුයි.</verse>
				<verse number="6">‘ශ්‍රාවකයෝ ගොස් ජේසුස් වහන්සේ නියම කළ ලෙස කළහ:</verse>
				<verse number="7">කොටළු දෙන ද පැටියා ද ගෙනවුත් තමන්ගේ උතුරුසළු උන් පිට එළාලූහ. උන් වහන්සේ හිඳගත් සේක.</verse>
				<verse number="8">සමූහයාගෙන් බොහෝ දෙනෙක් තමන්ගේ උතුරුසළු මඟ අතුළෝ ය; තවත් සමහරු ගස්වලින් අතු කපා මඟ අතුළෝ ය.</verse>
				<verse number="9">පෙරටුව හා පසුව ගමන් කළ සමූහයෝ, “දාවිත් රජුගේ පුත්‍රයාණන්ට හෝසන්නා! සමිඳුන්ගේ නමින් වඩිනා මෙතුමාණන් හට, ආසිරි වේ වා! ඉතා උසස් තැන්හි හෝසන්නා!” කියා මොරගැසූ හ.</verse>
				<verse number="10">උන් වහන්සේ ජෙරුසලමට පිවිසි කල, මුළු නුවර වැසියෝ කැළඹී, “මේ කවරෙක් දැ”යි ඇසූ හ.</verse>
				<verse number="11">සමූහයෝ ද, “මෙතුමාණෝ ගලීලයේ නාසරෙත් නුවර දිවැසිවර ජේසුස් වහන්සේ ය”යි පිළිතුරු දුන්හ.</verse>
				<verse number="12">ජේසුස් වහන්සේ දේව මාලිගාවට ඇතුළු ව, එහි වෙළහෙළඳාම් කරමින් සිටි සියල්ලන් පිටතට පලවා හැර, මුදල් මාරු කරන්නන්ගේ මේස ද පරෙවි වෙළෙඳුන්ගේ ආසන ද පෙරළා දමා,</verse>
				<verse number="13">“ ‘මාගේ ගෘහය යාච්ඤාවේ ගෘහය කැ යි කියනු ලබන්නේ ය’යි ලියා ඇත. එහෙත්, ඔබ එය සොරුන්ගේ ගුහාවක් කරන්නහු ය”යි ඔවුන්ට වදාළ සේක.</verse>
				<verse number="14">අන්ධයෝ ද කොරු ද දේව මාලිගාවෙහි උන් වහන්සේ වෙතට ආහ. උන් වහන්සේ ඔවුන් සුවපත් කළ සේක.</verse>
				<verse number="15">එහෙත්, නායක පූජකවරු හා විනයධරයෝ උන් වහන්සේ කළ අරුමපුදුම දේ ද, “දාවිත් රජුගේ පුත්‍රයාණන්ට හෝසන්නා” කියමින් දේව මාලිගාවේ මොරගසන දරුවන් ද දැක කෝප වී,</verse>
				<verse number="16">“මොවුන් කියන දේ ඔබට ඇසෙනවා දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. ජේසුස් වහන්සේ, “එසේ ය, බිළිඳුන්ගේ ද කිරි දරුවන්ගේ ද මුවින් ඔබ තුති පිදීම සලසා ඇත යන පාඨය කවදාවත් කියවා නැද්දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක.</verse>
				<verse number="17">උන් වහන්සේ ඔවුන්ගෙන් වෙන් වී, නුවරින් නික්ම බෙතානියට ගොස් එහි රාත්‍රිය ගත කළ සේක.</verse>
				<verse number="18">පසු දින උදෑසන නුවරට නැවත යන අතර උන් වහන්සේට සාගිනි විය.</verse>
				<verse number="19">උන් වහන්සේ පාර අද්දර තිබුණු අත්තික්කා ගසක් දැක, ළඟට ගොස්, එහි කොළ මිස අන් කිසිවක් නොදැක, “මෙතැන් පටන් කිසි කලෙක තාගෙන් පලදාවක් නො වේ වා”යි ඒ ගසට වදාළ සේක. අත්තික්කා ගස ඒ ඇසිල්ලෙහි ම වියළී ගියේ ය.</verse>
				<verse number="20">ශ්‍රාවකයෝ ඒ දැක, අත්තික්කා ගස ඒ ඇසිල්ලෙහි ම වියළුණේ කෙසේ දැ යි මවිත වූ හ.</verse>
				<verse number="21">ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “සැබැවින් ම මම ඔබට කියමි, ඔබ සැක නොකොට, ඇදහිල්ල ඇති ව සිටින්නහු නම්, මේ අත්තික්කා ගසට මා කළ දෙය ඔබත් කරනු ඇත. එපමණක් නොව, මේ කන්දට, ‘ඉදිරී ගොස් මුහුදේ වැටේ වා’යි කීවොත් එය ද සිදුවනු ඇත.</verse>
				<verse number="22">තවද, ඔබට ඇදහිල්ල ඇත්නම්, කවර දෙයක් ඉල්ලා යාච්ඤා කළත් එය ඔබට ලැබෙනු ඇතැ”යි ඔවුන්ට වදාළ සේක.</verse>
				<verse number="23">උන් වහන්සේ දේව මාලිගාවට ඇතුළු ව උගන්වමින් සිටිය දී නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද උන් වහන්සේ වෙතට අවුත්, “ඔබ මේ දේ කරන්නේ කුමන අධිකාරි බලයකින් ද? මේ බලය ඔබට පැවරුවේ කවරෙක් දැ”යි ප්‍රශ්න කළහ.</verse>
				<verse number="24">ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “මමත් ඔබගෙන් ප්‍රශ්නයක් විචාරමි. ඔබ එය මට කියන්නහු නම්, මේ දේවල් කරන්නේ කුමන අධිකාරි බලයකින් දැ යි මමත් ඔබට කියමි.</verse>
				<verse number="25">බව්තීස්ම-ස්නාපනය කිරීමේ බලය ජොහන් ලැබුවේ කවරෙකුගෙන් ද? දෙවියන් වහන්සේගෙන් ද? නොහොත් මනුෂ්‍යයන්ගෙන් දැ”යි ඇසූ සේක. ඔව්හු තම තමන් අතර තර්ක කරමින්, “ ‘දෙවියන් වහන්සේගෙන් ය’යි කීවොත්, ‘එසේ නම් ඔබ ජොහන් විශ්වාස නොකෙළේ මන්දැ’යි අපෙන් අසනු ඇත.</verse>
				<verse number="26">‘මනුෂ්‍යයන්ගෙන් ය’යි කීවොත්, ජොහන් දිවැසිවරයෙකු බව සියලු දෙනාම පිළිගෙන ඇති හෙයින් සමූහයාට මුහුණ දීමට අපට නො හැකිවනු ඇත” යනුවෙන් තම තමන් අතර තර්ක කරමින් සිට, බියෙන්, “අපි නොදනිමු”යි ජේසුස් වහන්සේට උත්තර දුන්හ.</verse>
				<verse number="27">උන් වහන්සේ කතා කරමින්, “කවර අධිකාරි බලයකින් මම මේ දේවල් කරම් දැ යි මමත් ඔබට නොකියමි”යි ඔවුන්ට වදාළ සේක.</verse>
				<verse number="28">තවදුරටත් ජේසුස් වහන්සේ කතා කරමින්, “ඔබ මේ ගැන කුමක් සිතන්නහු ද? එක් මිනිසෙකුට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියහ; ඔහු වැඩිමලා ළඟට ගොස්, ‘දරුවා යන්න; අද මිදි වත්තේ වැඩ කරන්නැ’යි කී ය.</verse>
				<verse number="29">ඔහු උත්තර දෙමින්, ‘නොයමි’යි කී ය. එහෙත්, පසුව පසුතැවිලි වී වැඩට ගියේ ය.</verse>
				<verse number="30">පියා දෙවැන්නා ළඟට ගොස් ඔහුටත් මුලින් කී දේ ම කී ය. ඔහු උත්තර දෙමින්, ‘ස්වාමීනි, යමි’යි කී ය, එහෙත් නොගියේ ය.</verse>
				<verse number="31">ඒ දෙදෙනාගෙන් පියාගේ කැමැත්ත ඉටු කෙළේ කවරෙක් දැ”යි ඇසූ සේක. “වැඩිමලා”යි ඔව්හු කී හ. ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “සැබැවින් ම මම ඔබට කියමි, අයකැමියෝත්, වෙසඟනෝත් ඔබට පළමුවෙන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට පැමිණෙති.</verse>
				<verse number="32">මන්ද, ජොහන් ධර්මිෂ්ඨ මාර්ගය පෙන්වන පිණිස ඔබ වෙත ආවේ ය. ඔබ ඔහු විශ්වාස කෙළේ නැත. එහෙත්, අයකැමියෝත් වෙසඟනෝත් ඔහු විශ්වාස කළහ. ඔබ එය දැක ඉන්පසුව වත් ඔහු කෙරෙහි විශ්වාස කරන පිණිස පසුතැවී සිත් හරවා නොගත්තහු ය”යි වදාළ සේක.</verse>
				<verse number="33">ජේසුස් වහන්සේ නැවතත් කතා කොට මෙසේ වදාළ සේක: “මේ උපමාවත් අසන්න. එක් වතු හිමියෙක් මිදි වත්තක් වවා එය වටා වැට බැඳ, එහි මිදි යන්ත්‍රයකට වළක් කැණ, මුර අට්ටාලයක් ඉදි කොට, එය ගොවීන්ට අඳේට දී පිටරට ගියේ ය.</verse>
				<verse number="34">අස්වැන්න කාලය ළං වූ කල, පලදාවෙන් තම කොටස ගන්නා පිණිස ඔහු තම දාසයන් ගොවීන් වෙත යැවී ය.</verse>
				<verse number="35">එවිට ගොවීහු ඔහුගේ දාසයන් අල්ලා එකෙකුට තැළූ හ; එකෙකු මැරූ හ; තව එකෙකුට ගල් ගැසූ හ.</verse>
				<verse number="36">යළිත්, ඔහු මුලින් යැවූ අයට වඩා දාසයන් වැඩි ගණනක් යැවී ය. ඒ ගොවීහු ඔවුන්ටත් පෙර සේ ම කළහ.</verse>
				<verse number="37">අන්තිමට ඔහු, ‘මාගේ පුතණුවන්ට ඔවුන් ගෞරව කරනු ඇත’ කියා සිය පුත්‍රයා ඔවුන් වෙත යැවී ය.</verse>
				<verse number="38">එහෙත්, ගොවීහු පුත්‍රයා දැක, ‘මේ උරුමක්කාරයා ය; එන්න, මොහු මරාදමා මොහුගේ උරුමය ගනිමු’යි ඔවුනොවුන් අතර කතා කොට,</verse>
				<verse number="39">ඔහු අල්ලා මිදි වත්තෙන් පිටතට දමා මැරූ හ.</verse>
				<verse number="40">එහෙයින් ස්වාමියා ආ කල ඒ ගොවීන්ට කුමක් කරනු ඇද් ද?”</verse>
				<verse number="41">ඔව්හු කතා කොට, “ඔහු ඒ නපුරු මිනිසුන් දරුණු ලෙස විනාශ කොට, නියම කන්නයේ දී තමාගේ අස්වැන්න කොටස දෙන, වෙන ගොවීන්ට මිදි වත්ත භාර දෙනු ඇතැ”යි කී හ.</verse>
				<verse number="42">ජේසුස් වහන්සේ ඔවුන් අමතා මෙසේ වදාළ සේක: “ ‘ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම, කොණේ ප්‍රධාන ගල වී ඇත. මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි. අපේ ඇස් හමුයෙහි එය විස්මයජනක ය’ යන්න ශුද්ධ ලියවිල්ලෙහි ඔබ කවදාවත් කියවා නැද් ද?</verse>
				<verse number="43">එබැවින් මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ කෙරෙන් ඉවත් කොට එය නියම පල උපදවන ජාතියකට දෙනු ලබන්නේ ය.</verse>
				<verse number="44">මේ ගල පිට වැටෙන්නා සුණු විසුණු වී යන්නේ ය. එහෙත්, එය යමෙකු පිට වැටුණොත්, එය ඔහු ධූලිමෙන් පොඩි කර දමන්නේ ය.”</verse>
				<verse number="45">නායක පූජකවරුත්, පරිසිවරුත්, උන් වහන්සේගේ උපමා අසා, ඒවා එල්ල කෙළේ තමන්ට බව දැන,</verse>
				<verse number="46">උන් වහන්සේ අල්ලාගන්න තැත් කළහ. එහෙත්, ‘උන් වහන්සේ දිවැසිවරයෙකැ’යි ජනතාව සැලකූ හෙයින් ඔව්හු ඔවුන්ට බිය වූ හ.</verse>
			</chapter>
			<chapter number="22">
				<verse number="1">යළිත්, උන් වහන්සේ සෙනඟට කතා කරමින් උපමා මඟින් මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“ස්වර්ග රාජ්‍යය මෙවැන්නකට උපමා කළ හැකි ය. එක්තරා රජෙක් තමාගේ පුත්‍රයාට සරණ මංගල්‍යයක් පිළියෙළ කෙළේ ය.</verse>
				<verse number="3">ඔහු සරණ මංගල්‍යයට ආරාධිතයන් කැඳවාගෙන එන පිණිස දාසයන් යැවී ය. එහෙත්, ඔව්හු එන්න අකමැති වූ හ.</verse>
				<verse number="4">යළිත් ඔහු වෙන දාසයන් යවා, ‘මෙන්න, මාගේ මංගල භෝජනය පිළියෙළ කර තිබේ. ගොනුන් හා තර කළ සතුන් මරා, කෑම සාදා ඇත. හැම දෙය ම සූදානම් ව තිබේ. මංගල්‍යයට එන්න කියා ආරාධිතයන්ට කියන්නැ’යි කී ය.</verse>
				<verse number="5">එහෙත්, ඔව්හු එය නොසලකා, කෙනෙක් තමාගේ කෙතටත්, තව කෙනෙක් තමාගේ වෙළඳාමටත් ගියහ.</verse>
				<verse number="6">සෙස්සෝ ඔහුගේ දාසයන් අල්ලා, ඔවුන්ට නිග්‍රහ කොට, මැරූ හ.</verse>
				<verse number="7">රජතුමා උදහස් වී, තමාගේ යුද්ධ සේනා යවා ඒ මිනීමරුවන් විනාශ කොට ඔවුන්ගේ නුවර ගිනි ලැවී ය.</verse>
				<verse number="8">එවිට ඔහු තම දාසයන්ට කතා කොට, ‘මංගල්‍යය සූදානම් කර තිබේ. එහෙත්, ආරාධිතයෝ සුදුස්සෝ නොවෙති.</verse>
				<verse number="9">එබැවින් ඔබ මංසන්ධිවලට ගොස් හමු වන සියල්ලන් මංගල්‍යයට කැඳවා ගෙනෙන්නැ’යි කී ය.</verse>
				<verse number="10">ඒ දාසයෝ මාවත්වලට ගොස් හමු වූ යහපත් අයහපත් දෙගොල්ල ම රැස් කළහ. අමුත්තන්ගෙන් මඟුල් මඩුව පිරී ගියේ ය.</verse>
				<verse number="11">එහෙත්, රජතුමා අමුත්තන් බැලීමට පැමිණි කල, එහි මඟුල් ඇඳුම් නොහැඳ සිටි මිනිසෙකු දැක,</verse>
				<verse number="12">‘මිත්‍රය, මඟුල් ඇඳුමක් නොහැඳ මෙතැනට ආවේ කෙසේ දැ’යි ඔහුගෙන් ඇසී ය. ඔහු නිහඬ විය.</verse>
				<verse number="13">එවිට රජතුමා කතා කොට, ‘මොහුගේ අත් පා බැඳ, පිටත අන්ධකාරයෙහි දමන්න; එහි දී විලාප කීමත් දත්මිටි කෑමත් වන්නේ ය’යි සේවකයන්ට කී ය.</verse>
				<verse number="14">මන්ද, කැඳවනු ලැබුවෝ බොහෝ ය. තෝරාගනු ලැබුවෝ ස්වල්ප ය.”</verse>
				<verse number="15">එවිට පරිසිවරු උන් වහන්සේ කටවචනයෙන් අල්ලාගන්නේ කෙසේ දැ යි කුමන්ත්‍රණය කළහ.</verse>
				<verse number="16">ඔව්හු හෙරෝදිවරුන් සමඟ තමන්ගේ ගෝලයන් උන් වහන්සේ වෙත යැවූ හ. ඔව්හු කතා කොට, “ගුරුදේවයෙනි, ඔබ අවංක කෙනෙකු බවත්, දෙවියන් වහන්සේගේ මාර්ගය හරි ලෙස උගන්වන බවත්, මිනිසුන්ගේ තරාතිරම් නොබලන බැවින් කිසිවෙකු නොතකන බවත් අපි දනිමු.</verse>
				<verse number="17">එබැවින් ඔබ සිතන්නේ කුමක් ද? සීසර් අධිරාජයාට අයබදු ගෙවීම යුතු ද අයුතු දැ යි අපට කිව මැනවැ”යි කී හ.</verse>
				<verse number="18">එහෙත්, ජේසුස් වහන්සේ ඔවුන්ගේ නපුරු අදහස දැන, “කෛරාටිකයෙනි, ඔබ මා පරීක්ෂා කරන්නේ මන් ද?</verse>
				<verse number="19">බදු ගෙවන කාසියක් මට පෙන්වන්නැ”යි වදාළ සේක. ඔව්හු රිදී කාසියක් ගෙනැවිත් උන් වහන්සේගේ අතට දුන්හ.</verse>
				<verse number="20">“මේ රූපය හා සටහන කවරෙකුගේ දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක.</verse>
				<verse number="21">“සීසර් අධිරාජයාගේ ය”යි ඔව්හු කී හ. එවිට උන් වහන්සේ, “එසේ නම් රජුගේ දේ රජුටත්, දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත් දෙන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="22">ඔව්හු ඒ අසා මවිත ව උන් වහන්සේ අත්හැර ගියහ.</verse>
				<verse number="23">‘පුනරුජ්ජීවනයක් නැතැ’යි කියන සද්දුසිවරුන්ගෙන් සමහරු එම දවසේ ම උන් වහන්සේ වෙතට අවුත් මෙසේ ඇසූ හ.</verse>
				<verse number="24">“ගුරුදේවයෙනි, ‘යමෙකු දරුවන් නොලැබ මියගියොත්, ඔහුගේ සහෝදරයා ඒ තැනැත්තාගේ භාර්යාව පාවාගෙන, සිය සහෝදරයා නමට දරුවන් ඉපදවිය යුතු ය’යි මෝසෙස් කියා ඇත.</verse>
				<verse number="25">අප අතර සහෝදරයෝ සත් දෙනෙක් සිටියහ. පළමුවැන්නා භාර්යාවක සරණ පාවාගෙන දරුවන් නැතිව මියගිය බැවින් ඔහුගේ භාර්යාව සහෝදරයාට භාර වූවා ය.</verse>
				<verse number="26">ඒ දෙවැන්නා ද මළේ ය. තුන්වැන්නා ද මළේ ය; සත් වැනි සහෝදරයා දක්වා හැම දෙන ම මළෝ ය.</verse>
				<verse number="27">සියල්ලන්ට පසුව ස්ත්‍රිය ද මළා ය.</verse>
				<verse number="28">ඒ හැම දෙනා ම ඇය පාවාගත් හෙයින් පුනරුජ්ජීවනයේ දී ඈ ඒ සත් දෙනාගෙන් කාගේ භාර්යාව වන්නී ද?”</verse>
				<verse number="29">ජේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළ සේක: “ඔබ ශුද්ධ ලියවිලි වත්, දෙවියන් වහන්සේගේ බලපරාක්‍රමය වත් නොදත්කමෙන් නොමඟ යන්නහු ය.</verse>
				<verse number="30">මන්ද, පුනරුජ්ජීවනයේ දී මිනිසුන්ට ආවාහ වීමක් හෝ විවාහ වීමක් හෝ නැත; ඔව්හු ස්වර්ගයෙහි දේව දූතයන් මෙන් වෙති.</verse>
				<verse number="31">තවද, පුනරුජ්ජීවනය සම්බන්ධයෙන් දෙවියන් වහන්සේ ඔබට වදාළ මේ දේ ඔබ කියවා නැද් ද?</verse>
				<verse number="32">‘ මම ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ය; ඊසාක්ගේ දෙවියන් වහන්සේ ය; ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ය. උන් වහන්සේ මළවුන්ගේ දෙවියන් වහන්සේ නොව ජීවතුන්ගේ දෙවියන් වහන්සේ ය.”</verse>
				<verse number="33">සමූහයෝ ඒ අසා, උන් වහන්සේගේ ඉගැන්වීම් ගැන විස්මපත් වූ හ.</verse>
				<verse number="34">උන් වහන්සේ සද්දුසිවරුන් නිරුත්තර කළ බව අසා පරිසිවරු එක්රැස් වූ හ.</verse>
				<verse number="35">ඔවුන් අතරෙන් විනයධරයෙක් උන් වහන්සේ පරීක්ෂා කරමින්,</verse>
				<verse number="36">“ගුරුදේවයිනි, ව්‍යවස්ථාවලියෙහි ශ්‍රේෂ්ඨතම ආඥාව කිමෙක් දැ”යි ඇසී ය.</verse>
				<verse number="37">උන් වහන්සේ ඔහුට කතා කොට, “ ‘නුඹේ මුළු හෘදයෙන් ද නුඹේ මුළු සිතින් ද නුඹේ මුළු බුද්ධියෙන් ද නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න.’</verse>
				<verse number="38">මෙය ශ්‍රේෂ්ඨතම පළමු වන ආඥාව ය.</verse>
				<verse number="39">දෙ වන ආඥාව ද එයට සමාන ය. එනම්, ‘නුඹ, නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න’ යනුයි.</verse>
				<verse number="40">මුළු ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය රඳා ඇත්තේ මේ ආඥා දෙක මත ය”යි වදාළ සේක.</verse>
				<verse number="41">පරිසිවරුන් රැස් ව සිටිය දී ජේසුස් වහන්සේ ඔවුන් අමතා,</verse>
				<verse number="42">“ක්‍රිස්තුස් ගැන ඔබ කුමක් සිතන්නහු ද? උන් වහන්සේ කවරෙකුගේ පුත්‍රයා දැ”යි ඇසූ සේක. “දාවිත් රජුගේ පුත්‍රයා ය”යි ඔව්හු කී හ.</verse>
				<verse number="43">උන් වහන්සේ ඔවුන්ගෙන් මෙසේ ඇසූ සේක: “එසේ නම්, දාවිත් ශුද්ධාත්මානුභාවයෙන් පෙළඹී උන් වහන්සේට ‘සමිඳාණන් ය’යි කීවේ කෙසේ ද? මන්ද,</verse>
				<verse number="44">‘මා ඔබ සතුරන් ඔබ පාද යට ලන තෙක් මා දකුණු පස අසුන් ගන්න කියා සමිඳාණෝ සමිඳුන්ට කී සේකැ’යි දාවිත් කී ය.</verse>
				<verse number="45">මෙසේ දාවිත් උන් වහන්සේට, ‘සමිඳාණන් ය’යි කියන්නේ නම්, උන් වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේ ද?”</verse>
				<verse number="46">එක වචන මාත්‍රයකින් වත් උන් වහන්සේට පිළිතුරු දීමට කිසිවෙකුට නොහැකි විය. එදා පටන් උන් වහන්සේගෙන් තවත් ප්‍රශ්න අසන්න කිසිවෙකුට ධෛර්යය නොතිබිණි.</verse>
			</chapter>
			<chapter number="23">
				<verse number="1">එකල ජේසුස් වහන්සේ සමූහයාටත්, සිය ශ්‍රාවකයන්ටත් කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="2">“විනයධරයෝ ද පරිසිවරු ද මෝසෙස්ගේ ව්‍යවස්ථාවලිය පිළිබඳ බලය ලත් අටුවාචාරීහු වෙති.</verse>
				<verse number="3">එබැවින් ඔවුන් ඔබට අණ කරන සියල්ල නොපිරිහෙළා පිළිපදින්න. එහෙත්, ඔවුන්ගේ ක්‍රියා අනුව නොයන්න. ඔව්හු එකක් කියති, අනිකක් කරති.</verse>
				<verse number="4">ඔව්හු ඉසිලිය නොහැකි මහ බර පොදි බැඳ මිනිසුන්ගේ කරේ තබති. එහෙත්, ඒ බර පොදි ඉසිලීමට සුළැඟිල්ලක තරම වත් ආධාරයක් දීමට කැමැති නොවෙති.</verse>
				<verse number="5">ඔවුන් හැම දෙය ම කරන්නේ මිනිසුන්ට පෙනෙන පිණිස ය. ඔව්හු ශුද්ධ ලියවිලි පාඨ සඳහන් බඳන පළල් කරගෙන නළලෙහි ද බාහුවල ද පළඳිති. වස්ත්‍රවල දාවලු මහත් කරති.</verse>
				<verse number="6">මංගල්‍යය භෝජනවල දී මූලාසනයට ද ධර්මශාලාවල දී ප්‍රධාන අසුන්වලට ද,</verse>
				<verse number="7">වෙළඳ පොළවල දී ගෞරවාචාර ලැබීමට ද, මිනිසුන් විසින් ‘ගුරුදේව’ කියා අමතනු ලැබීමට ද ප්‍රිය කරති.</verse>
				<verse number="8">එහෙත්, ඔබ ‘ගුරුදේව’ යයි කියවා නොගන්න. ඔබගේ ගුරුදේවයාණෝ එක් කෙනෙක් ම ය. ඔබ කවුරුත් සහෝදරයෝ ය.</verse>
				<verse number="9">මිහි පිට කිසිවෙකුට ‘පියාණෝ’ යි නොකියන්න. ඔබට ඇත්තේ ස්වර්ගයෙහි වැඩ වසන එක ම පියාණන් වහන්සේ ය.</verse>
				<verse number="10">ඔබ ‘නායකයෝ’ යි කියවා නොගන්න. ඔබගේ නායකයාණෝ එක් කෙනෙක් ම ය, එනම්, ක්‍රිස්තුන් වහන්සේ ය.</verse>
				<verse number="11">එහෙත්, ඔබ අතරෙන් ඉතා උතුම් තැනැත්තා ඔබගේ සේවකයා වන්නේ ය.</verse>
				<verse number="12">තමා ම උසස් කරගන්නා කවරෙකු වුව ද, පහත් කරනු ලබන්නේ ය; තමා ම පහත් කරගන්නා කවරෙකු වුව ද, ඔහු උසස් කරනු ලබන්නේ ය.</verse>
				<verse number="13">“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ මිනිසුන්ගේ ඇස් හමුයෙහි ස්වර්ග රාජ්‍යයේ දොරටු වසන්නහු ය; ඔබ ම ඇතුළු වන්නේ වත්, ඇතුළුවන්න සොයන අයට ඉඩ දෙන්නේ වත් නැත.</verse>
				<verse number="14">විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයෙනි ඔබට වන විපතක මහත! මන්ද, ඔබ බොරු පෙනුමට දිගින් දිගට යාච්ඤා කරතත්, ඔබ වැන්දඹුවන්ගේ ගේදොර කාදමති. ඔබට ඉතා බරපතල දඬුවමක් ලැබෙනු ඇත.</verse>
				<verse number="15">“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, එක් කෙනෙකු ආගමට හරවා ගන්න පිණිස ඔබ මුහුදෙන් හා ගොඩින් හැම තැන ම ගමන් කරන්නහු ය. එසේ හරවාගත් පසු, ඔහු ඔබ මෙන් තව දෙගුණයක් නිරාදුකට සුදුස්සෙකු කරන්නහු ය.</verse>
				<verse number="16">“අන්ධ මාර්ගෝපදේශකයෙනි, ඔබට වන විපතක මහත! මන්ද, ‘යමෙකු දේව මාලිගාවේ නාමයෙන් දිවුළොත් එහි කිසි වරදක් නැත කියා ද, යමෙකු දේව මාලිගාවේ රන්වල නාමයෙන් දිවුළොත්, ඒ දිවුරුමෙන් ඔහු බැඳී සිටි’යි කියා ද ඔබ කියන්නහු ය.</verse>
				<verse number="17">අන්ධ අඥානයෙනි, වඩා උතුම් කොයි එක ද? රන් ද? රන් විශුද්ධ කළ දේව මාලිගාව ද?</verse>
				<verse number="18">තවද, යමෙකු පූජාසනයේ නාමයෙන් දිවුළොත් එහි කිසි වරදක් නැත කියා ද, යමෙක් ඒ පිට තිබෙන පඬුරුවල නාමයෙන් දිවුළොත් ඔහු ඒ දිවුරුමෙන් බැඳී සිටි’යි කියා ද ඔබ කියන්නහු ය.</verse>
				<verse number="19">අන්ධයෙනි, වඩා උතුම් කොයි එක ද? පඬුරු ද, පඬුර විශුද්ධ කරන පූජාසනය ද?</verse>
				<verse number="20">එබැවින් පූජාසනයේ නාමයෙන් දිවුරන තැනැත්තේ එහි හා ඒ පිට තිබෙන සියල්ලේ නාමයෙන් දිවුරන්නේ ය,</verse>
				<verse number="21">දේව මාලිගාවේ නාමයෙන් දිවුරන්නා එහි ද, එහි වැඩ වසන තැනැන් වහන්සේගේ ද නාමයෙන් දිවුරන්නේ ය.</verse>
				<verse number="22">ස්වර්ගයේ නාමයෙන් දිවුරන්නා ද දෙවියන් වහන්සේගේත්, සිංහාසනයේත් නාමයෙන් හා එහි වැඩ හිඳින තැනැන් වහන්සේගේ නාමයෙන් දිවුරන්නේ ය.</verse>
				<verse number="23">“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ සුවඳතලා, ශතපුෂ්ප, සුදුදුරු යන මෙයින් දසයෙන් කොටස දෙන්නහු ය. එහෙත්, යුක්තිය ද දයාව ද ඇදහිල්ල ද යන ව්‍යවස්ථාවලියේ වඩා බරපතල කාරණා ඔබ පැහැර හරින්නහු ය. ඒවාත් පැහැර නොහැර, මේවාත් පිළිපැදිය යුතු ව තිබිණි.</verse>
				<verse number="24">අන්ධ මාර්ගෝපදේශකයෙනි, ඔබ කෝඳුරුවා පෙරාදමා ඔටුවා ගිල දමන්නහු ය.</verse>
				<verse number="25">“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ කෝප්පය සහ පිඟාන පිටතින් පවිත්‍ර කරන්නහු ය. එහෙත්, ඇතුළත බලහත්කාරකමෙනුත්, තෘෂ්ණාවෙනුත් පිරී තිබේ.</verse>
				<verse number="26">අන්ධ පරිසිවරය, කෝප්පයත් පිඟානත් පිටතින් පවිත්‍ර වන පිණිස පළමුකොට ඒවා ඇතුළත පවිත්‍ර කරන්න.</verse>
				<verse number="27">“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ හුණු ගා සුදු කළ සොහොන්වලට සමාන ය. ඒවා පිටතින් ශෝභන ව පෙනෙතත් ඇතුළත මළවුන්ගේ ඇටකටුවලින් ද සියලු ආකාර කැලිකසළින් ද පිරී තිබේ.</verse>
				<verse number="28">එලෙස ම ඔබත් මිනිසුන් අබිමුවෙහි පෙනුමට පිටතින් සිල්වත් ය. එහෙත්, ඇතුළතින් කුහකකමින් හා දාමරිකකමින් පිරී සිටින්නහු ය.</verse>
				<verse number="29">“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ‘ඔබ දිවැසිවරයන්ට සොහොන් ඉදි කොට, සිල්වතුන්ගේ සොහොන් කොත් අලංකාර කරමින්,</verse>
				<verse number="30">අපේ මුතුන්මිත්තන් ජීවත් ව සිටි කාලයේ දී අපිත් සිටියෙමු නම්, දිවැසිවරයන් මැරීමට අපි සහාය නොවන්නෙමු’යි කියන්නහු ය.</verse>
				<verse number="31">මෙසේ ඔබ දිවැසිවරයන් මැරූ අයගේ පුත්‍රයන් බව ඔබ ම පිළිගන්නහු ය.</verse>
				<verse number="32">එබැවින් ඔබගේ මුතුන්මිත්තන් පටන්ගත් දෙය ඔබ දැන් නිමාවට පත් කරන්න.</verse>
				<verse number="33">“සර්පයෙනි, පොළොං වංශයෙනි, ඔබ නිරයේ දඬුවමින් ගැළවෙන්නේ කෙසේ ද?</verse>
				<verse number="34">එබැවින් මම දිවැසිවරයන් ද ප්‍රඥාවන්තයන් ද විනයධරයන් ද ඔබ වෙතට එවමි. ඔබ ඔවුන්ගෙන් ඇතමෙකු මරන්නහු ය; ඇතමෙකු කුරුසියෙහි ඇණ ගසන්නහු ය; ඇතමෙකුට ඔබගේ ධර්මශාලාවල දී තළා, ඔවුන් නුවරින් නුවරට පලවා හරින්නහු ය.</verse>
				<verse number="35">මෙසේ මිහි පිට අහිංසක වූ ආබෙල් පටන්, ශුද්ධස්ථානය හා පූජාසනය අතර ඔබ විසින් මරන ලද බරාකියාගේ පුත් සෙකරියා දක්වා, සියලු අහිංසකයන් මැරීමේ විපාකය ඔබ පිට පැමිණෙන්නේ ය.</verse>
				<verse number="36">සැබැවින් ම මම ඔබට කියමි, ඒ මුළු දඬුවම මේ පරම්පරාවේ අය පිට පැමිණෙනු ඇත.”</verse>
				<verse number="37">“අහෝ ජෙරුසලම! දිවැසිවරයන් නසන, නුඹ වෙත එවූ දූතයන්ට ගල් ගසන ජෙරුසලම! කිකිළියක් ඇගේ පැටවුන් සිය පියාපත් යටට එක්රැස් කරගන්නාක් මෙන් නුඹේ දරු කැල එක්රැස් කරගන්න මම කීවරක් කැමැති වූයෙම් ද? එහෙත්, නුඹ කැමැති නොවූවා ය.</verse>
				<verse number="38">බලන්න, නුඹේ දේව මාලිගාව පාළු කරදමනු ලැබේ.</verse>
				<verse number="39">මම නුඹට කියමි, ‘සමිඳාණන් වහන්සේගේ නාමයෙන් වඩින තැනැත්තා හට ආසිරි වේ වා’යි නුඹ පවසන කාලය එන තුරු මෙතැන් සිට නුඹ මා තවත් නොදකින්නී ය.”</verse>
			</chapter>
			<chapter number="24">
				<verse number="1">ජේසුස් වහන්සේ දේව මාලිගාවෙන් නික්ම යද්දී, එහි ගොඩනැඟිලි උන් වහන්සේට පෙන්වන පිණිස ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත ආහ.</verse>
				<verse number="2">එහෙත්, උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “මේ සියල්ල ඔබට පෙනෙනවා නො වේ ද? සැබැවින් ම මම ඔබට කියමි, ගලක් මත ගලක් ඉතිරි නොවන ලෙස ඒවා සියල්ල ම බිඳ හෙළනු ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="3">උන් වහන්සේ ඔලීව කන්දේ වැඩසිටි කල ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත අවුත්, පෞද්ගලික ලෙස කතා කර, “ඒ දේ සිදුවන්නේ කවදා ද? ඔබේ පුනරාගමනය හා කල්පාන්තය පිළිබඳ පෙර ලකුණු මොනවා ද කියා අපට කිව මැනව”යි කී හ.</verse>
				<verse number="4">ජේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් මෙසේ වදාළ සේක: “ඔබ කිසිවෙකු අතින් මුළා නොවන හැටියට බලාගන්න.</verse>
				<verse number="5">මන්ද, බොහෝ දෙනෙක්, ‘මම ක්‍රිස්තුස් වෙමි’ කියමින් මාගේ නාමයෙන් ඉදිරිපත් වී බොහෝ දෙනෙකු මුළා කරති.</verse>
				<verse number="6">යුද්ධ හා යුද්ධ පිළිබඳ කටකතා ඔබට ඇසෙනු ඇත. ඒවාට බිය නොවන්න. මන්ද, මේ සියල්ල සිදුවනු නියත ය. එහෙත්, අවසානය තව ම පැමිණ නැත.</verse>
				<verse number="7">ජාතියක් ජාතියකට විරුද්ධ ව ද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධ ව ද නැඟී සිටිනු ඇත. නොයෙක් තැන්හි සාගත ද භූමිකම්පා ද සිදුවනු ඇත.</verse>
				<verse number="8">මේ සියල්ල නව යුගය බිහි කරවන ප්‍රසව වේදනාවේ පටන්ගැන්ම ය.</verse>
				<verse number="9">එකල ඔව්හු ඔබ වධබන්ධනවලට පාවා දී මරන්නෝ ය. මා නිසා සියලු ජාතීහු ඔබට වෛර කරන්නාහ.</verse>
				<verse number="10">එකල බොහෝ දෙනෙකුගේ ඇදහිල්ල බිඳ වැටෙනු ඇත. ඔව්හු ඔවුනොවුන් පාවා දෙන්නාහ; ඔවුනොවුන් කෙරෙහි වෛර බැඳගන්නාහ.</verse>
				<verse number="11">බොහෝ බොරු දිවැසිවරු නැඟිට බොහෝ දෙන මුළා කරන්නාහ.</verse>
				<verse number="12">අධර්මය වැඩෙත් ම බොහෝ දෙනාගේ ප්‍රේමය පිරිහෙන්නේ ය.</verse>
				<verse number="13">එහෙත්, අවසානය දක්වා ම ස්ථීර ව සිටින්නා ගැළවෙන්නේ ය.</verse>
				<verse number="14">රාජ්‍යය පිළිබඳ මේ සුබ අස්න සියලු ජාතීන් හට සාක්ෂියක් වන පිණිස ලොව පුරා ප්‍රකාශ කරනු ලබන්නේ ය. එවිට අවසානය පැමිණෙන්නේ ය.”</verse>
				<verse number="15">“එබැවින් දානියෙල් දිවැසිවරයා සඳහන් කළ, ‘බිහිසුණු දූෂිතය, ශුද්ධස්ථානයෙහි තිබෙනු ඔබ යම් කලක දකින්නහු ද, (පාඨකයා තේරුම්ගනීවා)</verse>
				<verse number="16">එකල ජුදයෙහි සිටින අය කඳුවලට පලා යෙත් වා.</verse>
				<verse number="17">පියස්ස මත සිටින්නා තම ගෙයි තිබෙන තමා සතු කිසිවක් ගන්නා පිණිස නොබසී වා.</verse>
				<verse number="18">කෙතෙහි සිටින්නා ද තමාගේ ඇඳුම් ගැනීමට පෙරළා නොයේ වා,</verse>
				<verse number="19">ඒ දවස්වල දී ගර්භණීන්ට ද කිරි මවුවරුන්ට ද ඇතිවන දුකක මහත!</verse>
				<verse number="20">හේමන්තයේ දී වත් සබත් දිනක දී වත් මෙය සිදු නොවන ලෙස යාච්ඤා කරන්න.</verse>
				<verse number="21">මන්ද, ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නොවූ විරූ, මතු ද සිදු නොවන විරූ දරුණු පීඩාවක් එකල්හි සිදුවන්නේ ය.</verse>
				<verse number="22">ඒ කාලය කෙටි නොකරන ලද්දේ නම්, කිසිවෙක් වත් නොගැළවෙන්නෝ ය. එහෙත්, තෝරාගත්තවුන් උදෙසා ඒ කාලය කෙටි කරනු ලබන්නේ ය.</verse>
				<verse number="23">එකල, ‘බලන්න, ක්‍රිස්තුන් වහන්සේ මෙන්න, මෙතැන ය’ නැත්නම් ‘අන්න, අතන ය’යි යමෙකු ඔබට කීවොත් විශ්වාස නොකරන්න.</verse>
				<verse number="24">කුමක්නිසා ද ව්‍යාජ ක්‍රිස්තුවරයන් ද ව්‍යාජ දිවැසිවරයන් ද පහළ වී, හැකි නම්, තෝරාගත්තවුන් පවා මුළා කරන ලෙස ලකුණු හා අරුමපුදුම දේ දක්වනු ඇත.</verse>
				<verse number="25">බලන්න, මම ඔබට කල්තියා කීවෙමි.</verse>
				<verse number="26">‘අන්න, උන් වහන්සේ පාළුකරයේ සිටින සේකැ’යි ඔවුන් ඔබට කීවොත්, පිටත් ව නොයන්න, ‘උන් වහන්සේ කාමරයක සැඟවී සිටින සේකැ’යි කීවත්, විශ්වාස නොකරන්න.</verse>
				<verse number="27">මන්ද, විදුලිය පෙරදිගින් නික්ම අපරදිග දක්වා විහිදෙන්නේ යම් සේ ද, මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ පුනරාගමනය එසේ ම වන්නේ ය.</verse>
				<verse number="28">“මළසිරුර යම් තැනෙක්හි ද එතැනට ගිජු ලිහිණියෝ රැස් වෙති.”</verse>
				<verse number="29">“ඒ දවස්වල පීඩා නිම වූ කෙණෙහි ම, හිරු අඳුරු වන්නේ ය; සඳ එළිය නොදෙන්නේ ය; තාරකාවෝ අහසින් පතිත වන්නාහ; අහසේ බලපරාක්‍රම දෙදරා යයි.</verse>
				<verse number="30">එකල මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ සලකුණ අහසෙහි පහළ වෙයි. එවිට පොළොවේ සියලු ගෝත්‍රයෝ වැලපෙන්නෝ ය. ඔව්හු මනුෂ්‍ය-පුත්‍රයාණන් බලපරාක්‍රමයෙන් ද මහා තේජශ්‍රීයෙන් ද අහසේ වලාකුළු මත වඩිනු දකින්නෝ ය.</verse>
				<verse number="31">උන් වහන්සේ මහත් හොරණෑ හඬක් සහිත ව තම දූතයන් එවන සේක. ඔව්හු අහසේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා සිව් දිගින් තෝරාගත්තවුන් රැස් කරන්නෝ ය.”</verse>
				<verse number="32">“අත්තික්කා ගසෙන් පාඩමක් ඉගෙනගන්න. එහි ළපටි අතු මතු වී, කොළ ලියලන කල ගිම්හානය ළඟ යයි ඔබ දන්නහු ය.</verse>
				<verse number="33">එලෙස ම ඔබත් මේ සියල්ල සිදුවනු දකින විට උන් වහන්සේ දොරකඩ ම යයි දැන ගන්න.</verse>
				<verse number="34">සැබැවින් ම මම ඔබට කියමි, මේ සියල්ල සිදුවන තුරු මේ පරම්පරාව පහ වී නොයන්නේ ය.</verse>
				<verse number="35">අහසත්, පොළොවත් පහ වී යන්නේ ය. එහෙත්, මාගේ වචන කිසි දා පහ වී නොයන්නේ ම ය.”</verse>
				<verse number="36">“මාගේ පියාණන් වහන්සේ මිස, ඒ දිනය හා පැය අන් කිසිවෙක් නොදනිති; ස්වර්ගයෙහි දේව දූතයෝ වත්, පුත්‍රයාණෝ වත් නොදනිති.</verse>
				<verse number="37">තවද නෝවාගේ දවස්වල සිදු වූ ලෙස ම මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ පුනරාගමනය වන්නේ ය.</verse>
				<verse number="38">එකල, ජල ගැල්මට ප්‍රථමයෙන්, නෝවා නැවට ඇතුළු වූ දිනය දක්වා, ඔව්හු කමින් බොමින්, ආවාහ විවාහ වෙමින් කල් යැවූ හ.</verse>
				<verse number="39">ජල ගැල්ම පැමිණ සියල්ලන් ගසා ගෙන යන තුරු ඔව්හු කිසිවක් නොදත්හ; මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ පුනරාගමනය ද එලෙස ම වනු ඇත.</verse>
				<verse number="40">එකල මනුෂ්‍යයෝ දෙදෙනෙක් කෙතෙහි සිටිති; එක් තැනැත්තෙක් ගනු ලබන්නේ ය; අනික් තැනැත්තා හැරදමනු ලබන්නේ ය.</verse>
				<verse number="41">ස්ත්‍රීහු දෙදෙනෙක් ඇඹරුම් ගලේ අඹරමින් සිටිති; එක් තැනැත්තියක් ගනු ලබන්නී ය; අනික් තැනැත්තිය හැරදමනු ලබන්නී ය.</verse>
				<verse number="42">එබැවින් අවදි ව ඉන්න. ඔබගේ සමිඳාණන් වහන්සේ කිනම් දවසක එන සේක් දැ යි ඔබ නොදන්නහු ය.</verse>
				<verse number="43">සොරා කොයි යාමයේ එන්නේ දැ යි ගෙදර ස්වාමියා දැන සිටියේ නම්, ඔහු නොනිදා සිට තමාගේ ගෙය බිඳීමට ඉඩ නොදෙන බව දැනගන්න.</verse>
				<verse number="44">එබැවින් ඔබත් සූදානම් ව සිටින්න. කුමක්නිසා ද ඔබ බලාපොරොත්තු නොවන පැයක දී මනුෂ්‍ය-පුත්‍රයාණෝ වඩින සේක.”</verse>
				<verse number="45">“තම ගෙයි වැසියන්ට නියම වේලාවට ආහාර කොටස සපයන පිණිස ස්වාමියා විසින් පත් කරන ලද විශ්වාසී, සිහි නුවණ ඇති දාසයා කවරෙක් ද?</verse>
				<verse number="46">ස්වාමියා ආ කල යම් දාසයෙකු සිය සේවයෙහි යෙදී සිටිනු දුටුවොත්, ඒ දාසයා භාග්‍යවන්තයෙක් ය.</verse>
				<verse number="47">සැබැවින් ම මම ඔබට කියමි, ඒ ස්වාමියා තමා සන්තක සියල්ලේ භාරකාරයා කොට ඔහු පත් කරන්නේ ය.</verse>
				<verse number="48">එහෙත්, ඔහු අයහපත් දාසයෙකු නම්, ‘මාගේ ස්වාමියා පමාවනු ඇතැ’යි සිතින් සිතා,</verse>
				<verse number="49">තම දැසිදසුන්ට තළන්න පටන්ගෙන, බේබද්දන් සමඟ කමින් බොමින් සිටියොත්,</verse>
				<verse number="50">ඔහු බලාපොරොත්තු නොවන දිනක දී, නොදන්නා පැයක දී, ඔහුගේ ස්වාමියා අවුත්,</verse>
				<verse number="51">ඔහුට දරුණු ලෙස දඬුවම් කර, කෛරාටිකයන්ට නියමිත තැන ඔහුටත් නියම කරනු ඇත. එහි දී වැලපීමත් දත්මිටිකෑමත් වන්නේ ය.”</verse>
			</chapter>
			<chapter number="25">
				<verse number="1">“ස්වර්ග රාජ්‍යය මෙසේ උපමා කළ හැකි ය. තෙල් පහන් රැගෙන මනාලයා පෙරමඟට යුවතියෝ දස දෙනෙක් ගියෝ ය.</verse>
				<verse number="2">ඔවුන් අතරෙන් පස් දෙනෙක් නුවණ නැති අය ය; පස් දෙනෙක් නුවණ ඇති අය ය.</verse>
				<verse number="3">නුවණ නැති අය සිය පහන් ගෙන යද්දී ඒ සමඟ තෙල් ගෙන ගියේ නැත.</verse>
				<verse number="4">එහෙත්, නුවණ ඇති අය සිය පහන් ගෙන යද්දී ඒ සමඟ බඳුන්හි තෙල් ගෙන ගියහ.</verse>
				<verse number="5">මනාලයාගේ පැමිණීම පමා වූ කල ඒ සියල්ලෝ ම නිදිබර වී නිදාගත්හ.</verse>
				<verse number="6">“මධ්‍යම රාත්‍රියේ ‘අන්න, මනාලයා! ඔහු පෙරමඟට යන්නැ’යි හඬක් විය.</verse>
				<verse number="7">එවිට ඒ සියලු යුවතියෝ නැඟිට සිය පහන්වල තිර සකස් කළහ.</verse>
				<verse number="8">එකල නුවණ නැති අය, ‘අපේ පහන් නිවීගන යයි, ඔබගේ තෙල්වලින් ටිකක් අපට දෙන්නැ’යි නුවණ ඇති අයට කී හ.</verse>
				<verse number="9">එහෙත්, නුවණ ඇති අය, ‘එසේ කළ නොහැක; අප දෙගොල්ලන්ට ම සෑහෙන තරම් තෙල් මෙහි නැත; එබැවින් වෙළෙඳුන් වෙත ගොස් ඔබ ම මිල දී තෙල් ගන්නැ’යි පිළිතුරු දුන්හ.</verse>
				<verse number="10">ඔවුන් ගිය පසු මනාලයා ආවේ ය; සූදානම් ව සිටි පස් දෙනා ඔහු හා සමඟ මංගලෝත්සවයට ගියහ. ඔවුන් ඇතුළු වූ විට දොර වසන ලදී.</verse>
				<verse number="11">“පසුව අනිත් යුවතියෝ අවුත්, ‘ස්වාමීනි, ස්වාමීනි, අපට දොර ඇරිය මැනවැ’යි කී හ.</verse>
				<verse number="12">එහෙත් මනාලයා ‘මම ඔබ කිසි සේත් නොහඳුනමි’යි පිළිතුරු දුන්නේ ය.</verse>
				<verse number="13">එබැවින් දවස වත්, පැය වත් ඔබ නොදන්න නිසා අවදි ව ඉන්න.”</verse>
				<verse number="14">“ස්වර්ග රාජ්‍යය මෙසේ උපමා කළ හැකි ය. එක් මිනිසෙක් සිය දාසයන් කැඳවා, තමා සතු දේ ඔවුන්ට භාර දී පිටරට බලා ගියේ ය.</verse>
				<verse number="15">ඔහු එකිනෙකාගේ හැකියාව අනුව, එක් කෙනෙකුට රිදී කාසි පන්දාහක් ද තව කෙනෙකුට දෙදාහක් ද, තව කෙනෙකුට එක් දාහක් ද බැගින් දී, තමා යන ගමන ගියේ ය.</verse>
				<verse number="16">රිදී කාසි පන්දාහ ලැබූ තැනැත්තේ වහා ම ගොස් එයින් වෙළෙඳාම් කොට තවත් රිදී කාසි පන්දාහක් උපදවා ගත්තේ ය.</verse>
				<verse number="17">එලෙස ම රිදී දෙදාහ ලැබූ තැනැත්තේ ද තවත් දෙදාහක් උපදවා ගත්තේ ය.</verse>
				<verse number="18">එහෙත් දාහක් ලැබූ තැනැත්තේ ගොස්, පොළොවේ වළක් හාරා, ස්වාමියාගේ මුදල සඟවා තැබී ය.</verse>
				<verse number="19">බොහෝ කලකට පසු ඒ දාසයන්ගේ ස්වාමියා අවුත් ඔවුන් සමඟ ගණන් හිලව් බැලී ය.</verse>
				<verse number="20">රිදී කාසි පන්දාහ ලැබූ තැනැත්තේ තවත් රිදී කාසි පන්දාහක් ගෙනවුත්, ‘ස්වාමීනි, ඔබ මට රිදී කාසි පන්දාහක් භාර දුන්නෙහි ය. මෙන්න, තවත් රිදී කාසි පන්දාහක් උපදවා ගතිමි’යි කී ය.</verse>
				<verse number="21">ඔහුගේ ස්වාමියා ඔහුට කතා කොට, ‘යහපත්, විශ්වාසී දාසය, ඉතා අගෙයි; ඔබ ස්වල්පයක් ගැන විශ්වාසී වූ බැවින් බොහෝ දේ කෙරෙහි අධිපති කරමි. ඔබ දැන් අවුත් ඔබේ ස්වාමියාගේ ප්‍රීතියට සහභාගි වන්නැ’යි කී ය.</verse>
				<verse number="22">රිදී කාසි දෙදාහක් ලැබූ තැනැත්තේ ද අවුත්, ‘ස්වාමීනි, ඔබ රිදී කාසි දෙදාහක් මට භාර දුන්නෙහි ය; මෙන්න, තවත් රිදී කාසි දෙදාහක් උපදවා ගතිමි’යි කී ය.</verse>
				<verse number="23">ඔහුගේ ස්වාමියා ඔහුට කතා කොට, ‘යහපත්, විශ්වාසී දාසය, ඉතා අගෙයි; ස්වල්පයක් ගැන ඔබ විශ්වාසී වූ බැවින් බොහෝ දේ කෙරෙහි ඔබ අධිපති කරමි. ඔබ දැන් අවුත් ඔබේ ස්වාමියාගේ ප්‍රීතියට සහභාගි වන්නැ’යි කී ය.</verse>
				<verse number="24">ඉන්පසු රිදී කාසි එක් දහක් ලැබූ තැනැත්තේ ද අවුත්, ‘ස්වාමීනි, ඔබ නොවපුළ තැනින් කපන, වගා නොකළ තැනින් පල රැස් කරන, තදහිතක් ඇති මනුෂ්‍යයෙකු බව දැනගතිමි.</verse>
				<verse number="25">එබැවින් මම බියෙන් ගොස් ඔබගේ රිදී කාසි පොළොවේ වළක සඟවා තැබීමි. මෙන්න, ඔබ සතුදේ’යි කී ය.</verse>
				<verse number="26">ඔහුගේ ස්වාමියා ඔහුට උත්තර දෙමින්, ‘කම්මැලි කපටි දාසය, මා නොවපුළ තැනින් කපාගන්නා බවත්, වගා නොකළ තැනින් පල රැස් කරගන්න, බවත් ඔබ දැන සිටියෙහි ද!</verse>
				<verse number="27">එසේ නම්, මාගේ මුදල බැංකුවේ තැන්පත් කළ යුතු ව තිබුණේ ය. එසේ කෙළේ නම්, මා ආ විට මගේ මුදල පොළියත් සමඟ ලබාගන්න පුළුවන්කම තිබිණි.</verse>
				<verse number="28">එබැවින් ඒ රිදී කාසි ඔහුගෙන් ගෙන රිදී කාසි පන්දාහ ඇති තැනැත්තාට දෙන්න.</verse>
				<verse number="29">යමක් ඇති තැනැත්තාට දෙනු ලැබේ; ඔහුට පමණටත් වඩා ලැබේ. යමක් නැති තැනැත්තාගෙන් ඔහුට ඇති ටිකත් ගනු ලැබේ.</verse>
				<verse number="30">මේ පලක් නැති දාසයා පිටත අන්ධකාරයට නෙරපාදමන්න. එහි දී වැලපීමත් දත්මිටි කෑමත් වන්නේ ය’යි කියනු ඇත.”</verse>
				<verse number="31">“මනුෂ්‍ය-පුත්‍රයාණන් සියලු දේව දූතයන් පිරිවරාගෙන තේජශ්‍රීයෙන් පැමිණෙන කල, එතුමාණෝ තමන්ගේ මහිමාන්විත සිංහාසනයේ වැඩහිඳින සේක.</verse>
				<verse number="32">එවිට සියලු ජාතීහු උන් වහන්සේ අබිමුවෙහි රැස් කරනු ලබන්නෝ ය. එඬේරෙකු, එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන්නාක් මෙන් උන් වහන්සේ ද ඔවුන් වෙන් කොට,</verse>
				<verse number="33">බැටළුවන් සිය දකුණු පැත්තෙහි ද එළුවන් වම් පැත්තෙහි ද සිටුවන සේක.</verse>
				<verse number="34">එවිට රජ්ජුරුවන් වහන්සේ සිය දකුණු පසෙහි සිටින්නන්ට කතා කොට, ‘මාගේ පියාණන්ගෙන් ආශීර්වාද ලද්දෙනි, එන්න, ලෝකය පටන්ගැන්මේ සිට ඔබට සූදානම් කර තිබෙන රාජ්‍යය උරුම කරගන්න.</verse>
				<verse number="35">මන්ද, මම සාගිනි ව සිටියෙමි; ඔබ මට කන්න දුන්නහු ය. පිපාසා වී සිටියෙමි; ඔබ මට බොන්න දුන්නහු ය. ආගන්තුක ව සිටියෙමි; ඔබ මා ගෙදරට පිළිගත්තහු ය.</verse>
				<verse number="36">වස්ත්‍ර නැති ව සිටියෙමි; ඔබ මට වස්ත්‍ර දුන්නහු ය. රෝගාතුර ව සිටියෙමි; ඔබ මා බලාගත්තහු ය. හිරගෙදර සිටියෙමි; ඔබ මා බලන්න ආවහු ය’යි වදාරන සේක.</verse>
				<verse number="37">එකල දැහැමියන් උත්තර දෙමින්, ‘ස්වාමීනි, කවර කලෙක ඔබ වහන්සේ සාගිනි ව සිටිය දී අපි ඔබට කෑම දුනිමු ද? පිපාසා වී සිටිය දී බොන්න දුනිමු ද?</verse>
				<verse number="38">කවර කලෙක ඔබ වහන්සේ ආගන්තුක ව සිටිය දී ඔබ ගෙදරට පිළිගතිමු ද? නොහොත් වස්ත්‍ර නැති ව සිටිය දී ඇඳුම් දුනිමු ද?</verse>
				<verse number="39">කවර කලෙක ඔබ රෝගාතුර ව හෝ හිරගෙදර හෝ සිටිය දී ඔබ බලන්න ආවෙමු දැ’යි කියනු ඇත.</verse>
				<verse number="40">එවිට රජ්ජුරුවන් වහන්සේ උත්තර දෙමින්, ‘සැබැවින් ම මම ඔබට කියමි, මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා ම සුළු තැනැන්තාට වුව ද ඔබ එසේ කළා නම් එය කෙළේ මට යැ’යි වදාරන සේක.</verse>
				<verse number="41">“එවිට උන් වහන්සේ වම් පසෙහි සිටින්නන්ට කතා කොට, ‘සාප ලද්දෙනි, මා වෙතින් ඉවත් වී යක්ෂයාට ද ඔහුගේ දූතයන්ට ද සූදානම් කර තිබෙන සදාතන ගින්නට යන්න.</verse>
				<verse number="42">මන්ද, මම සාගිනි ව සිටියෙමි; ඔබ මට කන්න නුදුන්නහු ය. පිපාසා වී සිටියෙමි; ඔබ මට බොන්න නුදුන්නහු ය.</verse>
				<verse number="43">ආගන්තුක ව සිටියෙමි; ඔබ මා ගෙදරට නොපිළිගත්තහු ය. වස්ත්‍ර නැති ව සිටියෙමි; ඔබ මට වස්ත්‍ර නුදුන්නහු ය. රෝගාතුර ව සිටියෙමි; හිරගෙදර ද සිටියෙමි; ඔබ මා බලන්න ආවේ නැතැ’යි වදාරන සේක.</verse>
				<verse number="44">එවිට ඔවුන් උත්තර දෙමින්, ‘ස්වාමීනි, කවර කලෙක ඔබ සාගිනි ව හෝ පිපාසා වී හෝ ආගන්තුක ව හෝ වස්ත්‍ර නැති ව හෝ රෝගාතුර ව හෝ හිරගෙදර හෝ සිටිනු දැක අපි ඔබ වහන්සේට උපස්ථාන නොකෙළෙමු දැ’යි අසනු ඇත.</verse>
				<verse number="45">එවිට උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, සැබැවින් ම මම ඔබට කියමි, මොවුන්ගෙන් ඉතා ම සුළු තැනැත්තාට වුව ද එසේ නොකළා නම් එය නොකෙළේ මට ය’යි වදාරන සේක.</verse>
				<verse number="46">මොවුහු සදාතන දඬුවමට ද, දැහැමියෝ සදාතන ජීවනයට ද යන්නෝ ය.”</verse>
			</chapter>
			<chapter number="26">
				<verse number="1">තවද ජේසුස් වහන්සේ මේ සියල්ල වදාරා නිම කොට සිය ශ්‍රාවකයන් අමතා,</verse>
				<verse number="2">“තව දෙදිනකින් පාස්කු මංගල්‍යය පැමිණෙන බව ඔබ දන්නහු ය; මනුෂ්‍ය-පුත්‍රයාණන් කුරුසියෙහි ඇණ ගසනු ලැබීමට පාවා දෙනු ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="3">එකල නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද කායාපස් නම් මහා නායක පූජකවරයාගේ මන්දිරයට රැස් වී,</verse>
				<verse number="4">ජේසුස් වහන්සේ ප්‍රයෝගයෙන් අල්ලා මැරීමට කුමන්ත්‍රණය කළහ;</verse>
				<verse number="5">එහෙත්, “සෙනඟ අතර කෝලාහලයක් සිදු නොවන පිණිස මංගල්‍යය කාලයේ දී එය නොකරමු”යි කී හ.</verse>
				<verse number="6">ජේසුස් වහන්සේ බෙතානියෙහි කුෂ්ඨ රෝගී වූ සීමොන්ගේ ගෙදර සිටිය දී,</verse>
				<verse number="7">එක් ස්ත්‍රියක් ඉතා අගනා සුවඳ විලවුන් පිරුණු කිරිගල් කරඬුවක් ගෙන උන් වහන්සේ වෙතට අවුත්, කෑමට හිඳගෙන හුන් උන් වහන්සේගේ හිස මත වත් කළා ය.</verse>
				<verse number="8">ඒ දුටු ශ්‍රාවකයෝ කෝප වී, “මෙවැනි නාස්තියක් කෙළේ මන් ද?</verse>
				<verse number="9">මේ විලේපනය විශාල මුදලකට විකුණා දිළිඳුන්ට දිය හැකි ව තිබුණා නොවේ දැ”යි කී හ.</verse>
				<verse number="10">එහෙත්, ජේසුස් වහන්සේ එය දැන මෙසේ වදාළ සේක: “ඔබ මේ ස්ත්‍රියට කරදර කරන්නේ මන් ද? ඇය මා හට කෙළේ මනහර දෙයකි.</verse>
				<verse number="11">මන්ද, දුගීහු ඔබ සමඟ හැමදා ම සිටිති. එහෙත්, මම හැමදා ම ඔබ සමඟ නොසිටිමි.</verse>
				<verse number="12">ඇය මේ විලේපනය මාගේ සිරුරේ වත් කෙළේ අවමංගල්‍යය සඳහා මා සූදානම් කරන පිණිස ය.</verse>
				<verse number="13">සැබැවින් ම මම ඔබට කියමි, ලොව පුරා මේ සුබ අස්න ප්‍රකාශ කරන හැම තැනක දී ම මේ ස්ත්‍රිය කළ මේ ක්‍රියාව ඇය සැමරීම පිණිස කියනු ලබන්නේ ය.”</verse>
				<verse number="14">තවද දොළොස් දෙනාගෙන් කෙනෙකු වූ ජූදස් ඉස්කාරියොත් නායක පූජකයන් වෙත ගොස්,</verse>
				<verse number="15">“ජේසුස් වහන්සේ ඔබට පාවා දුන්නොත් ඔබ මට දෙන්නේ කුමක් දැ”යි ඇසී ය. ඔව්හු රිදී කාසි තිහක් කිරා ඔහුට දුන්හ.</verse>
				<verse number="16">එතැන් පටන් ඔහු උන් වහන්සේ පාවා දීමට සුදුසු අවස්ථාවක් සෙවී ය.</verse>
				<verse number="17">නුමුහුන් රොටි මංගල්‍යයේ පළමු වන දින ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙතට අවුත්, “පාස්කු භෝජනය වළඳන පිණිස අප කොතැන පිළියෙළ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි ඇසූ හ.</verse>
				<verse number="18">ජේසුස් වහන්සේ ද, “ඔබ නගරයේ සිටින අසවල් මනුෂ්‍යයා වෙතට ගොස්, ‘මාගේ නියමිත මොහොත ළං ව ඇත; මාගේ ශ්‍රාවකයන් සමඟ ඔබේ නිවසේ දී පාස්කු භෝජනය පවත්වමි යි ගුරුදේවයන් වහන්සේ කියන සේකැ’යි ඔහුට දන්වන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="19">ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ ඔවුන්ට අණ කළ ලෙස පාස්කු භෝජනය පිළියෙළ කළහ.</verse>
				<verse number="20">සවස් වූ කල උන් වහන්සේ ප්‍රේරිතයන් දොළොස් දෙනා සමඟ කෑමට හිඳගත් සේක.</verse>
				<verse number="21">ඔවුන් කෑම කමින් සිටිය දී, උන් වහන්සේ කතා කොට, “සැබැවින් ම මම ඔබට කියමි, ඔබෙන් කෙනෙක් මා පාවා දෙන්නේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="22">ඔව්හු අතිශයින් ශෝක ව එකිනෙකා, “ස්වාමීනි, ඒ මම දැ”යි අසන්න පටන් ගත්හ.</verse>
				<verse number="23">උන් වහන්සේ උත්තර දෙමින්, “මා සමඟ එක පාත්‍රයේ අතලන තැනැත්තේ මා පාවා දෙන්නේ ය.</verse>
				<verse number="24">මනුෂ්‍ය-පුත්‍රයාණන් ගැන ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන ලෙස ම ඔහු නියමිත ගමන යන්නේ ය. එහෙත්, මනුෂ්‍ය-පුත්‍රයාණන් පාවා දෙන යම් මනුෂ්‍යයෙක් වේ ද, ඔහුට වන විපතක මහත! ඒ මිනිසා නූපන්නේ නම් වඩා හොඳ ය”යි වදාළ සේක.</verse>
				<verse number="25">උන් වහන්සේ පාවා දුන් ජූදස් උත්තර දෙමින්, “ගුරුදේවයෙනි, ඒ මම දැ”යි ඇසී ය. “වෙන කවුදැ”යි උන් වහන්සේ ඔහුට වදාළ සේක.</verse>
				<verse number="26">ඔවුන් කෑම කමින් සිටිය දී ජේසුස් වහන්සේ රොටි ගෙන ආශීර්වාදය පවසා ඒවා කඩා ශ්‍රාවකයන්ට දී, “රැගෙන වළඳන්න, මේ මාගේ ශරීරය”යි වදාළ සේක.</verse>
				<verse number="27">උන් වහන්සේ කුසලානක් ද ගෙන තුති පුදා ඔවුන්ට දී,</verse>
				<verse number="28">“ඔබ සියල්ලෝ ම මෙයින් පානය කරන්න. මෙය පව් කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරුවනු ලබන මාගේ ගිවිසුම් රුධිරය වේ.</verse>
				<verse number="29">මාගේ පියාණන්ගේ රාජ්‍යයෙහි දී මා ඔබ සමඟ අලුත් මිදියුස පානය කරන දවස එන තුරු මෙතැන් පටන් මේ මිදියුස තවත් නොබොන්නෙමි යි ඔබට කියමි”යි වදාළ සේක.</verse>
				<verse number="30">ඔව්හු ගීතයක් ගයා නිම කොට ඔලීව කන්දට නික්ම ගියහ.</verse>
				<verse number="31">තවද ජේසුස් වහන්සේ ශ්‍රාවකයන්ට කතා කොට, “ඔබ හැම දෙන ම අද රාත්‍රියෙහි මා නිසා අධෛර්යයට පත් වන්නහු ය. මන්ද, ‘මම එඬේරාට පහර දෙන්නෙමි, එවිට රැළේ බැටළුවෝ විසුරුවනු ලබන්නෝ ය’යි ශුද්ධ ලියවිල්ලෙහි ලියා තිබේ.</verse>
				<verse number="32">“එහෙත්, මම උත්ථාන කරනු ලැබූ පසු ඔබට පෙරටුව ගලීලයට යමි”යි වදාළ සේක.</verse>
				<verse number="33">පේදුරු උන් වහන්සේට උත්තර දෙමින්, “අන් හැම දෙන ම ඔබ නිසා අධෛර්ය වුවත් මම නම් කවදාවත් අධෛර්ය නොවන්නෙමි”යි කී ය.</verse>
				<verse number="34">ජේසුස් වහන්සේ ද, “සැබැවින් ම මම ඔබට කියමි, අද රෑ කුකුළා අඬලන්නට පෙර ඔබ මා හඳුනන්නේ නැත කියා තුන් වරක් කියන්නෙහි ය”යි ඔහුට වදාළ සේක.</verse>
				<verse number="35">පේදුරු, “ඔබ සමඟ මැරෙන්න සිදුවුණත්, මම ඔබ නාඳුනමි යි කවදාවත් කියන්නේ නැතැ”යි උන් වහන්සේට කී ය. සියලු ශ්‍රාවකයෝ ද එසේ ම කී හ.</verse>
				<verse number="36">එකල ජේසුස් වහන්සේ ඔවුන් හා සමඟ ගෙත්සෙමන නම් වූ තැනට පැමිණ, “මා එතැනට ගොස් යාච්ඤා කරන අතර ඔබ මෙහි සිටින්නැ”යි සිය ශ්‍රාවකයන්ට වදාළ සේක.</verse>
				<verse number="37">උන් වහන්සේ පේදුරු ද සෙබදීගේ පුත්‍රයන් දෙදෙනා ද කැඳවාගෙන ගිය සේක. ඉන්පසු උන් වහන්සේ ශෝක වන්ටත්, සන්තාප වන්ටත් පටන්ගත් සේක.</verse>
				<verse number="38">එකල උන් වහන්සේ ඔවුන් අමතමින්, “මැරෙන තරමට මාගේ සිත අතිශයින් ශෝකාන්විත ය. ඔබ මෙහි නැවතී මා සමඟ අවදි ව ඉන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="39">උන් වහන්සේ මඳක් ඉදිරියට ගොස් මුණින් වැටී, “අහෝ මාගේ පියාණෙනි, හැකි නම් මේ කුසලාන මා කෙරෙන් පහ කළ මැනව. එහෙත්, මා කැමැති ලෙස නොව, ඔබ කැමැති ලෙස වේ වා”යි යාච්ඤා කළ සේක.</verse>
				<verse number="40">උන් වහන්සේ ශ්‍රාවකයන් වෙත අවුත් ඔවුන් නිදා හිඳිනු දැක, පේදුරුට කතා කොට, “සැබැවින් ම මා සමඟ එක පැයක් වත් අවදි ව ඉන්න ඔබට බැරිවුණා ද?</verse>
				<verse number="41">ඔබ පරික්ෂාවට නොවැටෙන පිණිස අවදි ව සිට යාච්ඤා කරන්න. හිත නම් කැමැති ය; ගත නම් දුබල ය”යි වදාළ සේක.</verse>
				<verse number="42">උන් වහන්සේ නැවත දෙ වන වරටත් නික්ම ගොස්, “අහෝ මාගේ පියාණෙනි, මා විසින් පානය නොකොට මේ කුසලාන පහ කළ නොහැකි නම්, ඔබගේ කැමැත්ත වේ වා”යි කියා යාච්ඤා කළ සේක.</verse>
				<verse number="43">උන් වහන්සේ නැවත ආ කල ඔවුන් නිදා හිඳිනු දුටු සේක. ඔවුන්ගේ ඇස් නිදිබර ව තිබිණි.</verse>
				<verse number="44">යළිත් උන් වහන්සේ ඔවුන් හැර ගොස්, තුන් වන වරත් එම වචන කියා යාච්ඤා කළ සේක.</verse>
				<verse number="45">ඉන්පසු උන් වහන්සේ ශ්‍රාවකයන් වෙතට අවුත්, “ඔබ තවමත් නිදාගෙන විඩා හරිමින් සිටින්නහු ද? මෙන්න, නියමිත මොහොත ළං වී ඇත; මනුෂ්‍ය-පුත්‍රයාණෝ පවිටුන් අතට පාවා දෙනු ලබන සේක.</verse>
				<verse number="46">නැඟිටින්න, අපි යමු. අන්න, මා පාවා දෙන්නා ඉතා ළඟ ය”යි වදාළ සේක.</verse>
				<verse number="47">උන් වහන්සේ කතා කරද්දී, දොළොස් දෙනාගෙන් කෙනෙකු වන ජූදස් ද, ඔහු සමඟ නායක පූජකයන් හා ප්‍රජා මූලිකයන් වෙතින් යවන ලද කඩු මුගුරු ගත් මහත් ජනකායක් ද එහි පැමිණියහ.</verse>
				<verse number="48">උන් වහන්සේ පාවා දෙන්නා, “මම යමෙකු සිඹිම් ද, ඔබ සොයන තැනැත්තා ඔහු ය; ඔහු අල්ලාගන්න” කියා ඔවුන්ට ලකුණක් දී තිබිණි.</verse>
				<verse number="49">එකෙණෙහි ම ඔහු ජේසුස් වහන්සේ වෙතට අවුත්, “ගුරුදේවයෙනි, ඔබට සෙත් වේ!” කියා උන් වහන්සේ සිඹගත්තේ ය.</verse>
				<verse number="50">ජේසුස් වහන්සේ ද, “මිත්‍රය, ඔබ කරන්න ආ දෙය කරන්නැ”යි ඔහුට වදාළ සේක. එවිට ඔව්හු අවුත්, ජේසුස් වහන්සේ අත්අඩංගුවට ගෙන, තදින් අල්ලාගත්හ.</verse>
				<verse number="51">උන් වහන්සේ හා සමඟ සිටි අයගෙන් කෙනෙක්, අතින් කඩුව ගෙන නායක පූජකයාගේ දාසයාට ගසා ඔහුගේ කන කපා දැමී ය.</verse>
				<verse number="52">එවිට ජේසුස් වහන්සේ කතා කොට, “ඔබගේ කඩුව කොපුවේ දමන්න, කඩු ගන්නා සියල්ලෝ ම කඩුවෙන් ම නසිති.</verse>
				<verse number="53">දේව දූතයන් සේනාංක දොළොසකට වඩා වහා ම එවන ලෙස මාගේ පියාණන්ගෙන් ඉල්ලන්න මට නොහැකි ය යි ඔබ සිතන්නෙහි ද?</verse>
				<verse number="54">එහෙත්, එසේ කළොත්, මේ දෙය මෙලෙස ම විය යුතු යයි ශුද්ධ ලියවිලිවල කියන දේ ඉටු වන්නේ කෙසේ දැ”යි ඔහුට වදාළ සේක.</verse>
				<verse number="55">ඒ පැයේ දී ම ජේසුස් වහන්සේ ජනකායට කතා කොට, “ඔබ සොරෙකුට විරුද්ධ ව මෙන් කඩු මුගුරු ගෙන මා අල්ලන්නට ආවහු ද? මම දිනපතා ම දේව මාලිගාවෙහි උගන්වමින් සිටියෙමි. එහෙත්, ඔබ මා අල්ලාගත්තේ නැත.</verse>
				<verse number="56">මේ සියල්ල සිදුවූයේ දිවැසිවරයන්ගේ ලියවිලි ඉෂ්ට වන පිණිස ය”යි වදාළ සේක. එවිට ශ්‍රාවකයෝ සියල්ලෝ ම උන් වහන්සේ අත්හැර පලා ගියහ.</verse>
				<verse number="57">ජේසුස් වහන්සේ අල්ලාගත් අය උත්තම පූජක කායාපස් වෙතට උන් වහන්සේ ගෙන ගියහ. විනයධරයෝ ද ප්‍රජා මූලිකයෝ ද එහි රැස් වී සිටියහ.</verse>
				<verse number="58">එහෙත් පේදුරු, උත්තම පූජකයාගේ මළුව දක්වා උන් වහන්සේ පසුපස්සේ දුරින් ගොස්, එහි ඇතුළු වී, කුමකින් කුමක් වේ දැ යි බලන පිණිස මුර සේවකයන් හා සමඟ හිඳගත්තේ ය.</verse>
				<verse number="59">නායක පූජකවරු ද මුළු ශ්‍රේෂ්ඨාධිකරණය ද ජේසුස් වහන්සේ මරණයට පත් කරන පිණිස උන් වහන්සේට විරුද්ධ ව බොරු සාක්ෂි සෙවූ හ.</verse>
				<verse number="60">බොහෝ බොරු සාක්ෂිකාරයන් ඉදිරිපත් වූ නමුත්, කිසි සාක්ෂියක් සම්බ නො වී ය. පසුව දෙදෙනෙක් ඉදිරිපත් වී,</verse>
				<verse number="61">“ ‘දේව මාලිගාව කඩාදමා එය තුන් දිනකින් යළි ගොඩනඟන්න මට පුළුවන’ කියා මොහු කීවේ ය”යි කී හ.</verse>
				<verse number="62">එවිට උත්තම පූජකයා නැඟිට, “ඔබ කිසි උත්තරයක් දෙන්නේ නැද් ද? මොවුන් ඔබට විරුද්ධ ව ගෙනෙන මේ සාක්ෂිය කුමක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය.</verse>
				<verse number="63">එහෙත්, උන් වහන්සේ නිශ්ශබ්ද ව සිටි සේක. එවිට උත්තම පූජකයා, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍ර වන ක්‍රිස්තුවරයාණෝ දැ යි දිවුරා අපට කියන ලෙස ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබට අණ කරමි”යි උන් වහන්සේට කී ය.</verse>
				<verse number="64">ජේසුස් වහන්සේ ද, “ඔබ කියන දෙය හරි ය. තවදුරටත් මම ඔබට කියමි, මෙතැන් පටන් මනුෂ්‍ය-පුත්‍රයාණන් පරාක්‍රමයාණන්ගේ දකුණු පස වැඩ සිටිනවාත්, අහසේ වළාකුළු මත වඩිනවාත් ඔබ දකින්නෙහි ය”යි ඔහුට වදාළ සේක.</verse>
				<verse number="65">එවිට උත්තම පූජකයා සන්තාපයෙන් යුතු ව තමාගේ වස්ත්‍ර ඉරාගෙන මොහු දේවාපහාසයක් කෙළේ ය. තවත් අපට සාක්ෂිකාරයන්ගෙන් වැඩක් නැත, මොහුගේ දේවාපහාසය දැන් ඔබට ඇසුණේ ය.</verse>
				<verse number="66">ඔබ කුමක් සිතන්නහු දැ”යි කී ය. ඔව්හු උත්තර දෙමින්, “මොහු මරණයට සුදුසු ය”යි කී හ.</verse>
				<verse number="67">එවිට ඔව්හු උන් වහන්සේගේ මුහුණට කෙළ ගසා, මිට මොලවා පහර දුන්හ. සමහරෙක් උන් වහන්සේට අතුල් පහර දී,</verse>
				<verse number="68">“ක්‍රිස්තුවරයාණෙනි, ඔබට ගැසුවේ කවරෙක් දැ යි දිවැසින් බලා අපට කියන්නැ”යි කී හ.</verse>
				<verse number="69">පේදුරු මළුවෙහි පිටත වාඩි වී සිටියේ ය. සේවිකාවක් ඔහු වෙත අවුත්, “ඔබත් ඒ ජේසුස් නම් ගලීලයා සමඟ සිටියෙහි ය”යි කීවා ය.</verse>
				<verse number="70">“මොන බොරු ද? ඔය කතාව මට තේරෙන්නේ නැතැ”යි ඔහු සියල්ලන් ඉදිරියෙහි කී ය.</verse>
				<verse number="71">ඔහු පිටත දොරටුව ළඟට ගිය කල, තව සේවිකාවක් ඔහු දැක, “මොහුත් නාසරෙත්හි ජේසුස් සමඟ සිටියේ ය”යි එහි සිටියවුන්ට කීවා ය.</verse>
				<verse number="72">ඔහු යළිත්, “මා ඒ මනුෂ්‍යයා අඳුනන්නේ නැතැ”යි දිවුරා කී ය.</verse>
				<verse number="73">මඳ වේලාවකට පසු එතැන සිටි අය අවුත්, “සැබැවින් ම ඔබත් ඔවුන්ගෙන් එක් කෙනෙක් ය; ඒ බව ඔබගේ කතා ලීලාවෙන් පෙනේ ය”යි පේදුරුට කී හ.</verse>
				<verse number="74">එවිට ඔහු, “ඒ මිනිසා නාඳුනමි”යි කියමින් දෙස් තබාගන්න ද දිවුරන්න ද පටන්ගත්තේ ය. එකෙණෙහි ම කුකුළා හැඬලී ය.</verse>
				<verse number="75">“කුකුළා හඬලන්න පළමු ඔබ මා හඳුනන්නේ නැත කියා තුන් වරක් කියනු ඇතැ”යි ජේසුස් වහන්සේ වදාළ වචනය සිහි කොට පේදුරු පිටතට ගොස් ඉකි බිඳිමින් හැඬී ය.</verse>
			</chapter>
			<chapter number="27">
				<verse number="1">පහන් වූ කල සියලු නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද ජේසුස් වහන්සේ මරණයට පත් කරන පිණිස උන් වහන්සේට විරුද්ධ ව මන්ත්‍රණය කළහ.</verse>
				<verse number="2">ඔව්හු උන් වහන්සේට විලංගු ලා ගෙන ගොස් ආණ්ඩුකාර පිලාත්ට භාර දුන්හ.</verse>
				<verse number="3">උන් වහන්සේ පාවා දුන් ජූදස්, උන් වහන්සේ වරදට පත් කරනු ලැබූ බව දැක, ශෝකයෙන් පෙළී, රිදී මිල තිහ නායක පූජකවරුන් ද ප්‍රජා මූලිකයන් ද වෙත ආපසු ගෙන ගොස්,</verse>
				<verse number="4">“නිදොස් කෙනෙකු මරණයට පාවා දීමෙන් මම පව් කෙළෙමි”යි කී ය. එහෙත් ඔව්හු, “එයින් අපට කමක් නැත, ඔබ ම එය බලාගන්නැ”යි කී හ.</verse>
				<verse number="5">එවිට ඔහු ඒ රිදී මිල ශුද්ධස්ථානයෙහි වීසි කොට දමා, නික්ම ගොස් එල්ලී මළේ ය.</verse>
				<verse number="6">නායක පූජකවරු ඒ රිදී මිල ගෙන, “මේවා ලේ-මිල බැවින් දේව මාලිගාවේ මුදල් ගබඩාවට දැමීම යුතු නැතැ”යි කී හ.</verse>
				<verse number="7">එසේ කියා ඔව්හු මන්ත්‍රණය කොට, විජාතීන් සඳහා සුසාන භූමියක් වන පිණිස ඒ මුදලින් ‘කුඹල් කෙත’ මිල දී ගත්හ.</verse>
				<verse number="8">එහෙයින් අද දක්වා ඒ කෙතට ‘ලේ කෙත’ යයි කියනු ලැබේ.</verse>
				<verse number="9">මෙසේ දිවැසිවර ජෙරමියාගේ කීමක් සැබෑ විය. එනම්: “යම් කිසි කෙනෙකුගේ වටිනාකමේ හැටියට ඉශ්රායෙල් ජනතාව අතර සම්මත ව තිබූ මිලය වන රිදී මිල තිහ,</verse>
				<verse number="10">සමිඳාණන් වහන්සේ මට අණ දුන් පරිදි, කුඹල් කෙත සඳහා දුනිමි” යනු යි.</verse>
				<verse number="11">ජේසුස් වහන්සේ ආණ්ඩුකාරයා ඉදිරියෙහි පෙනී සිටි සේක. “ඔබ ජුදෙව්වන්ගේ රජ දැ”යි ඔහු උන් වහන්සේගෙන් ප්‍රශ්න කෙළේ ය. “එසේ කියන්නේ ඔබ ය”යි ජේසුස් වහන්සේ උත්තර දුන් සේක.</verse>
				<verse number="12">නායක පූජකවරුන් ද ප්‍රජා මූලිකයන් ද උන් වහන්සේට වරද තැබූ විට, උන් වහන්සේ කිසි උත්තරයක් නුදුන් සේක.</verse>
				<verse number="13">එවිට පිලාත්, “මොවුන් ඔබට විරුද්ධ ව නඟන චෝදනා ඇසෙන්නේ නැද්දැ”යි ඇසී ය.</verse>
				<verse number="14">එහෙත්, ජේසුස් වහන්සේ එක වචනයකින් පමණ වත් උත්තර නුදුන් සේක. එබැවින් ආණ්ඩුකාරයා අතිශයින් මවිත විය.</verse>
				<verse number="15">මංගල්‍යයේ දී ජනතාව ඉල්ලා සිටින සිරකරුවෙකු ආණ්ඩුකාරයා විසින් නිදහස් කර හරිනු ලැබීමේ සිරිතක් තිබිණි.</verse>
				<verse number="16">එකල්හි ජේසුස් බරබ්බස් යයි නම් දැරූ ප්‍රසිද්ධ සිරකරුවෙක් විය.</verse>
				<verse number="17">එහෙයින් සෙනඟ රැස් වූ විට, “මා ඔබට කවරෙකු නිදහස් කර දෙනවාට ඔබ කැමැති ද? බරබ්බස් කියන ජේසුස් ද? නැතහොත් ක්‍රිස්තුස් කියන ජේසුස් දැ”යි පිලාත් ඔවුන්ගෙන් ඇසී ය.</verse>
				<verse number="18">එසේ ඇසුවේ, ඔවුන් ඊර්ෂ්‍යාවෙන් උන් වහන්සේ පාවා දුන් බව පිලාත් දැන සිටි හෙයිනි.</verse>
				<verse number="19">තවද, ඔහු විනිශ්චයාසනයෙහි සිටිය දී, ඔහුගේ භාර්යාව, “ඒ නිදොස් මනුෂ්‍යයාට කිසිවක් නොකරන්න. ඊයේ රෑ ඔහු නිසා මම සිහිනයකින් බොහෝ දුක් වින්දෙමි”යි පිලාත්ට කියා යැවුවා ය.</verse>
				<verse number="20">එහෙත්, නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද බරබ්බස් ම ඉල්ලන්ටත්, ජේසුස් වහන්සේ නසාලන්ටත් ජනකාය කැමැති කරවාගත්හ.</verse>
				<verse number="21">ආණ්ඩුකාරයා ඔවුන්ට උත්තර දෙමින්, “මේ දෙදෙනාගෙන් කවරෙකු මා ඔබට නිදහස් කර දෙනවාට කැමැති දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. “බරබ්බස්” යයි ඔව්හු කී හ.</verse>
				<verse number="22">“එසේ නම් ක්‍රිස්තුස් ය කියන ජේසුස්ට මා කුමක් කරන්න දැ”යි පිලාත් ඔවුන්ගෙන් ඇසී ය. “ඔහු කුරුසියේ ඇණ ගසන්නැ”යි සියල්ලෝ ම එක හඬින් කී හ.</verse>
				<verse number="23">එවිට ඔහු, “මන් ද? මොහු මොන අපරාධයක් කෙළේ දැ”යි ඇසී ය. එහෙත්, “ඔහු කුරුසියෙහි ඇණ ගසන්නැ”යි ඔව්හු වැඩි වැඩියෙන් හඬ නඟමින් මොරගැසූ හ.</verse>
				<verse number="24">මෙසේ කෝලාහලයක් හට ගනු මිස, තමාගේ ප්‍රයත්නයෙන් වැඩක් සිදු නොවන බව දුටු පිලාත්, වතුර ගෙන, ජනකාය ඉදිරියේ අත් සෝදමින්, “මේ මනුෂ්‍යයාගේ ලේ ගැන මම නිදොස් ය. ඔබ ම වගබලා ගන්නැ”යි කී ය.</verse>
				<verse number="25">මුළු සමූහයා උත්තර දෙමින්, “ඔහුගේ ලේවල පල විපාකය අප පිට ද අපේ දරුවන් පිට ද වේ වා”යි කී හ.</verse>
				<verse number="26">එකල පිලාත්, ඔවුන්ට බරබ්බස් නිදහස් කර දුන්නේ ය. එහෙත්, ඔහු ජේසුස් වහන්සේට තළවා, කුරුසියෙහි ඇණ ගැසීමට භාර දුන්නේ ය.</verse>
				<verse number="27">එකල ආණ්ඩුකාරයාගේ මුරසෙබළෝ ජේසුස් වහන්සේ ප්‍රෙතෝරියම් නම් රජ වාසලට ගෙන ගොස් මුළු සේනාංකය උන් වහන්සේ වෙත රැස් කළහ.</verse>
				<verse number="28">ඔව්හු උන් වහන්සේගේ ඇඳුම් ගලවාදමා, නීල-රක්ත සළුවක් උන් වහන්සේට ඇන්දෙව්වෝ ය.</verse>
				<verse number="29">තවද ඔව්හු කටු ඔටුන්නක් ගොතා උන් වහන්සේගේ හිස මත තබා, බට දණ්ඩක් දකුණතට දී, උන් වහන්සේ අබිමුවෙහි දණ නමා, “ජුදෙව්වන්ගේ රජුනි, සැරදේ!” කියා උන් වහන්සේට සරදම් කළහ.</verse>
				<verse number="30">ඔව්හු උන් වහන්සේට කෙළ ගසා, බට දණ්ඩ ගෙන, උන් වහන්සේගේ හිසට ගැසූ හ.</verse>
				<verse number="31">මෙසේ ගැරහුම් කළ පසු ඔව්හු උන් වහන්සේට ඇන්දූ සළුව ගලවා, උන් වහන්සේගේ ම ඇඳුම් අඳවා, උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගසන පිණිස ගෙන ගියහ.</verse>
				<verse number="32">ඔවුන් නික්ම යද්දී සීමොන් නම් කිරේනියේ මනුෂ්‍යයෙකු සම්බ වී, උන් වහන්සේගේ කුරුසිය උසුලාගෙන යන්න ඔව්හු ඔහුට බල කළහ.</verse>
				<verse number="33">ඔව්හු කපාල පිටිය යන අර්ථ ඇති ‘ගොල්ගොතා’ නම් ස්ථානයට පැමිණ,</verse>
				<verse number="34">තික්ත මිශ්‍ර කළ මුද්‍රික පානය උන් වහන්සේට බොන්න දුන්හ. උන් වහන්සේ එය දිව ගා බලා බොන්න අකමැති වූ සේක.</verse>
				<verse number="35">උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගැසූ පසු, ඔව්හු උන් වහන්සේගේ ඇඳුම් දාදු දමා බෙදාගත්හ.</verse>
				<verse number="36">ඔව්හු එහි හිඳගෙන උන් වහන්සේ මුර කළහ.</verse>
				<verse number="37">තවද, “මොහු ජුදෙව්වරුන්ගේ රජ වන ජේසුස් ය” කියා උන් වහන්සේ පිළිබඳ චෝදනා පත්‍රය ලියා උන් වහන්සේගේ හිසට ඉහළින් තැබූ හ.</verse>
				<verse number="38">එවිට සොරු දෙදෙනෙක්, එක් කෙනෙක් දකුණු පසෙහි ද එක් කෙනෙක් වම් පසෙහි ද උන් වහන්සේ හා සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ හ.</verse>
				<verse number="39">මඟ යන්නෝ තමන් හිස් වන වනා උන් වහන්සේට නින්දා කරමින්,</verse>
				<verse number="40">“දේව මාලිගාව කඩාදමා තුන් දවසකින් එය ගොඩනඟන ඔබ, ඔබ ම ගළවාගන්න; ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම්, කුරුසියෙන් බැස එන්නැ”යි කී හ.</verse>
				<verse number="41">එම අයුරින් නායක පූජකවරු ද විනයධරයන් හා ප්‍රජා මූලිකයන් සමඟ උන් වහන්සේට කවටකම් කොට,</verse>
				<verse number="42">“මොහු අනුන් ගැළෙව්වේ ය; දැන් තමාට ම ගැළවෙන්ට නුපුළුවන; මොහු ඉශ්රායෙල්වරුන්ගේ රජ නොවේ ද? එසේ නම් දැන් කුරුසියෙන් බසී වා, එවිට අපි මොහු විශ්වාස කරන්නෙමු.</verse>
				<verse number="43">මොහු දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේ ය; උන් වහන්සේ ඔහුට කැමැති සේක් නම් දැන් ඔහු මුදා හරින සේක් වා. මන්ද, ‘මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා වෙමි’යි මොහු කීවේ ය”යි කී හ.</verse>
				<verse number="44">උන් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ සොරු ද එසේ ම උන් වහන්සේට නින්දා කළහ.</verse>
				<verse number="45">මද්දහනේ සිට අපරභාග තුන දක්වා රට පුරා තද අන්ධකාරයක් පහළ විය.</verse>
				<verse number="46">තුනට පමණ ජේසුස් වහන්සේ, “ඒලී, ඒලී, ලාමා සබක්තානී” කියා මහහඬින් මොරගැසූ හ. එහි අර්ථය “මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසා ද” යනු යි.</verse>
				<verse number="47">එහි සිටියවුන්ගෙන් සමහරෙක් ඒ අසා, “මොහු එලියා අමතන්නේ ය”යි කී හ.</verse>
				<verse number="48">එකෙණෙහි ම ඔවුන්ගෙන් එක් කෙනෙකු දිව ගොස්, මූදු හත්තක්ගෙන ඇඹුල් මිදියුසවල පොඟවා බට දණ්ඩක ගසා, උන් වහන්සේට බොන්න දුන්නේ ය.</verse>
				<verse number="49">සෙස්සෝ කතා කොට, “නිකම් ඉන්න, මොහු ගළවන්ට එලියා එන්නේ දැ යි බලමු”යි කී හ.</verse>
				<verse number="50">ජේසුස් වහන්සේ යළිත් මහහඬින් හඬගා අවසන් හුස්ම හෙළූ සේක.</verse>
				<verse number="51">දේව මාලිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකඩ ව ඉරුණේ ය; පොළොව කම්පා විය; ගිරිකුළු දෙදරිණි;</verse>
				<verse number="52">සොහොන් ගෙවල් විවර විය; දිවංගත ශුද්ධවරයෝ උත්ථාන කරනු ලැබූ හ.</verse>
				<verse number="53">උන් වහන්සේගේ පුනරුජ්ජීවනයෙන් පසු, ඔව්හු සොහොන් ගෙවලින් නික්ම ශුද්ධ නුවරට ඇතුළු ව, බොහෝ දෙනෙකුට පෙනුණාහ.</verse>
				<verse number="54">ශතාධිපතියා ද ඔහු සමඟ ජේසුස් වහන්සේ මුර කරමින් සිටි අය ද පොළෝකම්පාවත්, සිදු වූ දේත් දැක ඉතා බියපත් ව, “සැබැවින් ම මේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය”යි කී හ.</verse>
				<verse number="55">ගලීලයේ සිට උන් වහන්සේ කැටුව අවුත්, උන් වහන්සේට ආවතේව කළ බොහෝ කාන්තාවෝ ද එහි දුරින් සිට බලා සිටියහ.</verse>
				<verse number="56">මග්දලායේ මරියා ද ජාකොබ්ගේ සහ ජෝසෙප්ගේ මව වූ මරියා ද සෙබදීගේ පුත්‍රයන්ගේ මව ද ඔවුන් අතර වූ හ.</verse>
				<verse number="57">සවස් වූ කල ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයෙකු ව සිටි ජෝසෙප් නම් ධනවත් මනුෂ්‍යයෙක් අරිමාතියේ සිට අවුත්,</verse>
				<verse number="58">පිලාත් වෙත ගොස්, උන් වහන්සේගේ මෘත ශරීරය ඉල්ලී ය. එවිට පිලාත් එය භාර දෙන්න අණ කෙළේ ය.</verse>
				<verse number="59">ජෝසෙප් ඒ මෘත ශරීරය ගෙන පිරිසිදු හණ රෙද්දකින් වෙළා,</verse>
				<verse number="60">පර්වතයෙහි කප්පා තිබුණු තමාගේ ම අලුත් සොහොන් ගැබෙහි තබා, එහි දොරකඩට විශාල ගලක් පෙරළා තබා යන්න ගියේ ය.</verse>
				<verse number="61">මග්දලායේ මරියා ද අනික් මරියා ද එතැන සොහොන් ගෙය ඉදිරියෙහි හිඳගෙන උන්හ.</verse>
				<verse number="62">පසු දා එනම් සිකුරාදාට පසු දා, නායක පූජකවරු ද පරිසිවරු ද පිලාත් වෙත රැස් ව,</verse>
				<verse number="63">“ස්වාමීනි, ඒ වංචාකාරයා ජීවත් ව සිටිය දී, ‘මම තුන් දවසකට පසු මරණින් උත්ථාන වන්නෙමි’යි කී බව අපට මතක ය.</verse>
				<verse number="64">එහෙයින් තුන් වන දවස දක්වා සොහොන් ගෙය ආරක්ෂා කරන්න අණ දුන මැනවි. නැතහොත්, සමහර විට ඔහුගේ ශ්‍රාවකයන් අවුත් ඔහු සොරාගෙන ගොස්, ‘ඔහු මරණින් උත්ථාන වී ය’යි සෙනඟට කියනු ඇත. මෙසේ අවසාන වංචාව මුල් වංචාවට වඩා මහත්වන්නේ ය”යි කී හ.</verse>
				<verse number="65">“වුවමනා නම්, මුර කණ්ඩායමක් රැගෙන ගොස් සොහොන හැකි පමණ සුරක්ෂිත කොට තබන්නැ”යි පිලාත් ඔවුන්ට කී ය.</verse>
				<verse number="66">ඔව්හු ගොස් සොහොන් ගල පිට මුද්‍රාව තබා, මුර කණ්ඩායම එහි සිටුවා, සොහොන් ගෙය සුරක්ෂිත කළහ.</verse>
			</chapter>
			<chapter number="28">
				<verse number="1">සබත් දින නිම වී සතියේ පළමු වන දින එළිවන වේලෙහි මග්දලායේ මරියා ද අනික් මරියා ද සොහොන් ගෙය බලන්න ගියහ.</verse>
				<verse number="2">එවිට මහා භූමිකම්පාවක් විය. සමිඳාණන් වහන්සේගේ දූතයෙක් ස්වර්ගයෙන් බැස අවුත්, ගල ඉවතට පෙරළා ඒ මත හිඳගත්තේ ය.</verse>
				<verse number="3">ඔහුගේ පෙනුම විදුලිය වැනි ය, ඔහුගේ වස්ත්‍ර හිම මෙන් සුදු ය.</verse>
				<verse number="4">මුර සෙබළු ඔහුට භයින් වෙවුලා, මළවුන් මෙන් වූ හ.</verse>
				<verse number="5">දේව දූතයා ඒ ස්ත්‍රීන්ට කතා කරමින්, “බිය නොවන්න, ඔබ කුරුසියෙහි ඇණ ගැසූ ජේසුස් වහන්සේ සොයන බව දනිමි;</verse>
				<verse number="6">උන් වහන්සේ මෙහි නැත; උන් වහන්සේ වදාළ ලෙස ම උත්ථාන වූ සේක. එන්න, සමිඳාණන් වහන්සේ තැන්පත් කළ ස්ථානය බලා,</verse>
				<verse number="7">වහා ම ගොස්, ‘උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ සේක. උන් වහන්සේ ඔබට පළමු ව ගලීලයට යන සේක. එහි දී ඔබ උන් වහන්සේ දකින්නහු ය’යි ශ්‍රාවකයන්ට දන්වන්න. මා කී දේ මතක තබා ගන්නැ”යි කී ය.</verse>
				<verse number="8">එවිට ඔව්හු භයින් ද මහත් ප්‍රීතියෙන් ද යුක්ත ව සොහොන් ගෙයින් වහා ම නික්ම ගොස්, උන් වහන්සේගේ ශ්‍රාවකයන්ට දන්වන පිණිස දිවූ හ.</verse>
				<verse number="9">එකල ජේසුස් වහන්සේ හදිසියේ ඔවුන්ට මුණ ගැසී, “සෙත් වේ වා!”යි වදාළ සේක. ඔව්හු ළං වී උන් වහන්සේගේ පා වැළඳගෙන, උන් වහන්සේට පසඟ පිහිටුවා නමස්කාර කළහ.</verse>
				<verse number="10">එවිට උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “බිය නොවන්න; මාගේ සහෝදරයන් වෙතට ගොස්, ගලීලය බලා යන්න ඔවුන්ට කියන්න; එහි දී ඔවුන් මා දකිනු ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="11">ස්ත්‍රීවරුන් මඟ යද්දී මුර සෙබළුන්ගෙන් සමහරෙක් නුවරට පැමිණ, ඒ මුළු සිද්ධිය නායක පූජකවරුන්ට දැන්වූ හ.</verse>
				<verse number="12">එවිට, ඔව්හු ප්‍රජා මූලිකයන් හා සමඟ රැස් ව කුමන්ත්‍රණය කොට හේවායන්ට බොහෝ මුදල් දී,</verse>
				<verse number="13">“අප රෑ නිදා සිටිය දී, ඔහුගේ ශ්‍රාවකයෝ අවුත්, ඔහු සොරාගෙන ගියහ’යි කියන්න.</verse>
				<verse number="14">මේ බව ආණ්ඩුකාරයාට ආරංචි වුණොත්, අපි ඔහු කැමැති කරවාගෙන ඔබ බේරා ගන්නෙමු”යි කී හ.</verse>
				<verse number="15">ඔව්හු මුදල් රැගෙන තමන්ට ඉගැන්වූ ලෙස කළහ. මෙසේ ඒ කීම ජුදෙව්වන් අතරේ ප්‍රසිද්ධ වී, අද දක්වාත් පැවත එයි.</verse>
				<verse number="16">ශ්‍රාවකයෝ එකොළොස් දෙනා ජේසුස් වහන්සේ ඔවුන්ට නියම කළ පරිදි ගලීලයේ කන්දට ගියහ.</verse>
				<verse number="17">ඔව්හු උන් වහන්සේ දැක පසඟ පිහිටුවා වැන්දෝ ය; එහෙත් සමහරෙක් සැක කළහ.</verse>
				<verse number="18">ජේසුස් වහන්සේ ඔවුන් වෙතට අවුත් කතා කොට, “ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියලු බලය මට පවරා තිබේ.</verse>
				<verse number="19">එබැවින් ඔබ ගොස්, සකල ජාතීන් ශ්‍රාවකයන් කරන්න; පියාණන්ගේ ද පුත්‍රයාණන්ගේ ද ශුද්ධාත්මයාණන්ගේ ද නාමයෙන් ඔවුන් බව්තීස්ම-ස්නාපනය කරන්න;</verse>
				<verse number="20">මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක.</verse>
			</chapter>
		</book>
		<book number="41">
			<chapter number="1">
				<verse number="1">දේව පුත්‍ර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ සුබ අස්නේ ආරම්භය මෙය ය.</verse>
				<verse number="2">යෙසායා සිය දිවැසාවලියෙහි මෙසේ ලියා ඇත: “මෙන්න, මාගේ දූතයා ඔබට පෙරටුව යවමි, හෙතෙම ඔබ වඩිනා මඟ පිළියෙළ කරන්නේ ය;</verse>
				<verse number="3">
					‘සමිඳුන්ගේ මඟ පිළියෙළ කරන්න;
					එතුමන් හට ඇද නැති මාවත් සාදන්නැ’යි පාළුකරයෙහි මොරගා කියන හඬක් වේ!”
				</verse>
				<verse number="4">එපරිද්දෙන් ස්නාවක ජොහන් තෙමේ ‘පව් කමාව පිණිස පසුතැවී සිත් හරවා ගෙන බව්තීස්ම-ස්නාපනය ලැබිය යුතු ය’යි දේශනා කරමින් පාළුකරයෙහි පහළ විය.</verse>
				<verse number="5">එවිට මුළු ජුදා රට ද ජෙරුසලම් පුරවැසියෝ ද ඔහු වෙත රැස් වී, පාපෝච්චාරණය කරමින් ඔහුගෙන් ජොර්දාන් ගඟෙහි බව්තීස්ම-ස්නාපනය ලැබූ හ.</verse>
				<verse number="6">ජොහන් ඔටු ලොම් වස්ත්‍රයක් හැඳ, ඉණ වටා සම් පටියක් බැඳ සිටියේ ය. පළඟැටියන් හා වන මී ඔහුගේ ආහාරය විය.</verse>
				<verse number="7">ඔහු දේශනා කරමින්, “මට වඩා ආනුභාව සම්පන්න උතුමාණන් කෙනෙක් මට පසුව එති; නැමී, එතුමාණන්ගේ පා වහන් පටි මුදන්නට පවා මම නොවටිමි;</verse>
				<verse number="8">මම වතුරෙන් ඔබ බව්තීස්ම-ස්නාපනය කෙළෙමි; එහෙත් උන් වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් ඔබ බව්තීස්ම-ස්නාපනය කරන සේකැ”යි කී ය.</verse>
				<verse number="9">එසමයෙහි ජේසුස් වහන්සේ ගලීලයේ නාසරෙත්හි සිට වැඩම කර, ජොහන් විසින් ජොර්දාන් ගඟෙහි බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ සේක.</verse>
				<verse number="10">උන් වහන්සේ දියෙන් ගොඩ නැඟෙත් ම ස්වර්ගය විවර වී, ආත්මයාණන් වහන්සේ පරෙවියෙකු මෙන්‍ තමන් පිට බැස එනු දුටු සේක.</verse>
				<verse number="11">තවද, ස්වර්ගයෙන් නික්මුණු හඬක්, “ඔබ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; ඔබ කෙරේ ඉතා ප්‍රසන්න වී සිටිමි”යි පැවසී ය.</verse>
				<verse number="12">එම ඇසිල්ලෙහි ආත්මයාණෝ උන් වහන්සේ පාළුකරයට පැමිණෙවූ සේක.</verse>
				<verse number="13">උන් වහන්සේ සාතන් විසින් පරීක්ෂා කරනු ලබමින් දින සතළිසක් පාළුකරයෙහි විසූ සේක; උන් වහන්සේ වන සතුන් අතර විසූ සේක. දේව දූතයෝ උන් වහන්සේට උපස්ථාන කළහ.</verse>
				<verse number="14">ජොහන් හිරබාරයට ගනු ලැබූ පසු, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ සුබ අස්න දේශනා කරමින් ගලීලයට වැඩිය සේක.</verse>
				<verse number="15">ඒ දේශනාව මේ ය: “නියමිත මොහොත පරිපූර්ණ වී තිබේ; දෙවියන් වහන්සේගේ රාජ්‍යය ආසන්න ය; පසුතැවී සිත් හරවා ගන්න; සුබ අස්න අදහාගන්න” යනුයි.</verse>
				<verse number="16">උන් වහන්සේ ගලීලයේ මුහුද අද්දර ඇවිදින විට සීමොන් ද ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ද මුහුදෙහි දැලක් දමනු දුටු සේක. ඔව්හු මසුන් අල්ලන්නෝ වූ හ.</verse>
				<verse number="17">ජේසුස් වහන්සේ ඒ දැක, “මා අනුව එන්න; මම ඔබ මිනිසුන් දිනාගන්නන් කරමි”යි වදාළ සේක.</verse>
				<verse number="18">එකෙණෙහි ම ඔව්හු දැල් හැරදමා උන් වහන්සේ අනුව ගියහ.</verse>
				<verse number="19">උන් වහන්සේ එතැනින් මඳ දුරක් ගොස් සෙබදීගේ පුත් ජාකොබ් ද, ඔහුගේ සහෝදර ජොහන් ද ඔරුවක හිඳ දැල් සකස් කරනු දැක, එකෙණෙහි ම ඔවුන් කැඳවා වදාළ සේක.</verse>
				<verse number="20">ඔව්හු ද තම පිය සෙබදී මෙහෙකරුවන් සමඟ ඔරුවෙහි සිටිය දී ම උන් වහන්සේ අනුව ගියහ.</verse>
				<verse number="21">ඉන්පසු ඔව්හු කපර්ණවුමට පැමිණියහ. සබත් දින උන් වහන්සේ ධර්මශාලාවට ගොස් අනුශාසනා කළ සේක.</verse>
				<verse number="22">උන් වහන්සේගේ අනුශාසනාව ගැන ඔව්හු විස්මිත වූ හ. මන්ද, උන් වහන්සේ විනයධරයන් මෙන්‍ නොව බලධාරී කෙනෙකු මෙන්‍ අනුශාසනා කළ හෙයිනි.</verse>
				<verse number="23">එකල ඔවුන්ගේ ධර්මශාලාවෙහි අශුද්ධාත්මයක් ආවේශ වූවෙක් විය.</verse>
				<verse number="24">ඔහු මෙසේ මොරහඬ දුනි: “නාසරෙත්හි ජේසුස් වහන්ස, ඔබත් අපත් අතර මොන ගනු දෙනුවක් ද? ඔබ ආවේ අප වනසන්ට ද? ඔබ කවරෙක් දැ යි දනිමි; ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධවරයාණෝ ය.”</verse>
				<verse number="25">ජේසුස් වහන්සේ ඔහුට තරවටු කරමින්, “කට පියව; මොහුගෙන් දුරු වෙව”යි වදාළ සේක.</verse>
				<verse number="26">එවිට අශුද්ධාත්මය ඔහු වේගයෙන් සලිත කොට, මහහඬින් මොරගසමින් ඔහු කෙරෙන් දුරු විය.</verse>
				<verse number="27">ඒ දුටු සියල්ලෝ ම මවිත වී, “මේ කුමක් ද? අලුත් ධර්මයකි! මෙතුමාණෝ බලධාරී කෙනෙකු මෙන්‍ උගන්වති; මුන් වහන්සේ අණ දෙන විට අශුද්ධාත්මයෝ වුව ද කීකරු වෙති”යි කී හ.</verse>
				<verse number="28">එකෙණෙහි ම උන් වහන්සේ පිළිබඳ පුවත අවට ගලීලය පුරා දස දෙස පැතිර ගියේ ය.</verse>
				<verse number="29">ඔව්හු ධර්මශාලාවෙන් නික්ම ආ කෙණෙහි ම, ජාකොබ් ද ජොහන් ද කැටුව, සීමොන්ගේ හා ඇන්ඩෘගේ ගෙදරට පැමිණියහ.</verse>
				<verse number="30">සීමොන්ගේ භාර්යාවගේ මව උණෙන් ඔත්පළ ව සිටියා ය. ඔව්හු වහා ම ඇය ගැන උන් වහන්සේට දැන්වූ හ.</verse>
				<verse number="31">උන් වහන්සේ ඇය වෙතට ගොස් ඇගේ අතින් අල්ලා ඇය නැඟිටෙවූ සේක. ඇගේ උණ බැස ගියේ ය. ඈ ඔවුන්ට උපස්ථාන කළා ය.</verse>
				<verse number="32">සවස හිරු බැස ගිය පසු සියලු රෝගීන් ද දුෂ්ටාත්මාවේශ වූ අය ද උන් වහන්සේ වෙත ගෙනෙනු ලැබූ හ.</verse>
				<verse number="33">නුවර වැසි මුළු ජනතාව දොරකඩ එක්රැස් වූ හ.</verse>
				<verse number="34">උන් වහන්සේ විවිධ රෝගවලින් පෙළුණු බොහෝ අය සුව කළ සේක. බොහෝ දුෂ්ටාත්මයන් ද දුරු කළ සේක. තමා කවරෙක් දැ යි ඒ දුෂ්ටාත්මයන් දැන සිටි බැවින් උන් වහන්සේ ඔවුන්ට කතා කිරීමට ඉඩ නුදුන් සේක.</verse>
				<verse number="35">හිරු උදාවට බොහෝ කලින් උන් වහන්සේ අවදි ව හුදකලා තැනකට ගොස් එහි යාච්ඤා කළ සේක.</verse>
				<verse number="36">සීමොන් සහ ඔහුගේ සහායකයෝ උන් වහන්සේ සොයා ගොස්,</verse>
				<verse number="37">සම්මුඛ වී, “හැම දෙන ම ඔබ සොයති”යි පැවසූ හ.</verse>
				<verse number="38">උන් වහන්සේ උත්තර දෙමින්, “අන් තැන්වලත් දේශනා කරන පිණිස අපි අවට නුවරවලටත් යමු; මා ආයේ ඒ සඳහා ය”යි වදාළ සේක.</verse>
				<verse number="39">උන් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල උගන්වමින් ද දුෂ්ටාත්මයන් දුරු කරමින් ද ගලීලය පුරා සැරිසැරූ සේක.</verse>
				<verse number="40">එකල, ලාදුරු රෝගියෙක් උන් වහන්සේ වෙත අවුත් දණින් වැටී, “ඔබ කැමැති සේක් නම්, මා පවිත්‍ර කරන්න ඔබට හැකි ය”යි අයැද සිටියේ ය.</verse>
				<verse number="41">උන් වහන්සේ මහානුකම්පාවෙන් අත දිගු කොට ඔහු පිට තබා, “මම කැමැත්තෙමි, පවිත්‍ර වන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="42">එකෙණෙහි ම ලාදුරු රෝගය පහ වී ඔහු පවිත්‍ර කරනු ලැබී ය.</verse>
				<verse number="43">උන් වහන්සේ, “මේ ගැන කිසිවෙකුට කිසිවක් නොකියන ලෙස බලාගන්නැ”යි ඔහුට තදින් අණ දී,</verse>
				<verse number="44">“යන්න, පූජකයා ඉදිරියෙහි පෙනී සිටින්න; මෝසෙස්ගේ නියමය පරිදි පවිත්‍රවීමේ සහතිකයක් ලෙස පූජා ඔප්පු කරන්න” කියා ඔහු වහා පිටත් කර යැවූ සේක.</verse>
				<verse number="45">එහෙත්, ඔහු ගොස් ඒ මුළු සිද්ධිය ප්‍රසිද්ධ ලෙස කිය කියා, දස දෙස පතුරුවා හැරියේ ය. එහෙයින්, කිසි නුවරකට ප්‍රසිද්ධියේ පිවිසෙන්නට ඉන්පසු උන් වහන්සේට නොහැකි වූයෙන්, ජේසුස් වහන්සේ පාළු පෙදෙස්වල නැවතුණ සේක. එසේ වුව ද, සමූහයා සියලු දිශා භාගවලින් උන් වහන්සේ වෙත පැමිණියහ.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">දින ගණනකට පසු ජේසුස් වහන්සේ යළිත් කපර්ණවුමට පිවිසුණු සේක. උන් වහන්සේ ගෙදර සිටින බව පතළ විය.</verse>
				<verse number="2">එවිට දොරකඩ අසලවත් ඉඩක් නැති තරමට මහ පිරිසක් එහි රැස් වූ හ. උන් වහන්සේ ඔවුන්ට දහම් දෙසමින් සිටි සේක.</verse>
				<verse number="3">එකල සතර දෙනෙක් අංසබාග රෝගියෙකු උසුලාගෙන උන් වහන්සේ වෙත ආහ.</verse>
				<verse number="4">සමූහය නිසා උන් වහන්සේ වෙත යාගත නොහැකි වූයෙන් ඔව්හු උන් වහන්සේ සිටි තැනට ඉහළින් පියස්සේ සෙවිල්ල හැර, පියස්ස කඩා, අංසබාග රෝගියා ඔත් යහන පහතට බැස්වූ හ.</verse>
				<verse number="5">ජේසුස් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, “පුත්‍රය, ඔබේ පව් කමා කර තිබේ” යයි අංසබාග රෝගියාට වදාළ සේක.</verse>
				<verse number="6">එහෙත් එතැන හුන් විනයධරයන්ගෙන් සමහරෙක් තර්ක කරමින්,</verse>
				<verse number="7">“මේ මිනිහා මෙසේ කතා කරන්නේ මක්නිසා ද? මේ දේවාපහාසයකි! දෙවියන් වහන්සේට මිස පව් කමා කරන්න පුළුවන් වෙන කාට දැ”යි සිතූ හ.</verse>
				<verse number="8">ඔවුන් මෙසේ තර්ක කරන බව ජේසුස් වහන්සේගේ සිතට එකෙණෙහි ම දැනී, ඔවුන්ට කතා කොට, “ඔබ කුමක් නිසා ඔබේ සිත් තුළ මෙසේ තර්ක කරන්නහු ද?</verse>
				<verse number="9">වඩා පහසු කුමක් ද? අංසබාග රෝගියාට ‘ඔබේ පව් කමා කරන ලදැ’යි කීම ද? නැතහොත්, ‘නැඟිට ඔබේ යහන රැගෙන යන්නැ’යි කීම ද?</verse>
				<verse number="10">එහෙත්, මෙලොව දී පව් කමා කිරීමේ බලය මනුෂ්‍ය-පුත්‍රයාණන්ට ඇති බැව් ඔබ දැනගන්නා පිණිස මම මෙසේ කරමි”යි කියා උන් වහන්සේ අංසබාග රෝගියාට කතා කොට,</verse>
				<verse number="11">“නැඟිට ඔබේ යහන රැගෙන ගෙදර යන්නැ යි මම ඔබට කියමි”යි වදාළ සේක.</verse>
				<verse number="12">ඔහු නැඟිට එකෙණෙහි ම යහන රැගෙන පිරිස බලා සිටිය දී ම නික්ම ගියේ ය. සියල්ලෝ ම විස්මිත ව, “මෙවැන්නක් අප කවදාවත් දැක නැතැ”යි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ.</verse>
				<verse number="13">නැවත උන් වහන්සේ පිටත් ව මුහුද අසලින් ගිය සේක. මුළු සමූහයා උන් වහන්සේ වෙත රැස් වූ හ. උන් වහන්සේ ඔවුන්ට ඉගැන්වූ සේක.</verse>
				<verse number="14">උන් වහන්සේ මඟ වඩින විට, අල්පෙවුස්ගේ පුත් ලෙවී නැමැත්තා රේගු පොළේ හිඳිනු දැක, “මා අනුව එන්නැ”යි ඔහුට වදාළ සේක. ඔහු නැඟිට උන් වහන්සේ අනුව ගියේ ය.</verse>
				<verse number="15">තවද, උන් වහන්සේ ඔහුගේ නිවෙසහි කෑමට වැඩහුන් කල අයකැමියන් සහ පව්කාරයන් බොහෝ දෙනෙක් ද උන් වහන්සේ සහ උන් වහන්සේගේ ශ්‍රාවකයන් සමඟ හිඳගත්හ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් උන් වහන්සේගේ අනුගාමිකයෝ වූ හ.</verse>
				<verse number="16">උන් වහන්සේ පව්කාරයන් හා අයකැමියන් සමඟ ආහාර වළඳනු දුටු පරිසිවරුන්ගේ පක්ෂයේ විනයධරයෝ, “බලන්න, උන් වහන්සේ අයකැමියන් හා පව්කාරයන් සමඟ කන බොන සැටි”යි ශ්‍රාවකයන්ට කී හ.</verse>
				<verse number="17">ජේසුස් වහන්සේ ඒ අසා, “රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත; මා ආයේ දමිටුන් නොව අදමිටුන් කැඳවීමට ය”යි වදාළ සේක.</verse>
				<verse number="18">වරක් ජොහන්ගේ ගෝලයෝ ද පරිසිවරු ද උපවාසයෙහි යෙදුණාහ. එවිට සමහරෙක්, “ජොහන්ගේ ගෝලයෝ ද පරිසිවරුන්ගේ ගෝලයෝ ද උපවාස කරති; ඔබේ ශ්‍රාවකයන් උපවාස නොකරන්නේ මන්දැ”යි ජේසුස් වහන්සේගෙන් ඇසූ හ.</verse>
				<verse number="19">උන් වහන්සේ ඔවුන් අමතා මෙසේ වදාළ සේක: “මනාලයා ඔවුන් සමඟ සිටිය දී ඔහුගේ ඥාති මිත්‍රාදීන්ට උපවාස කළ හැකි ද? මනාලයා ඔවුන් සමඟ සිටින තුරු ඔවුන්ට උපවාස කළ නොහැකි ය.</verse>
				<verse number="20">එහෙත්, මනාලයා ඔවුන් කෙරෙන් වෙන් කරනු ලබන දවසක් පැමිණෙයි. ඒ දවසේ දී ඔවුන් උපවාස කරනු ඇත.</verse>
				<verse number="21">තාන් රෙදි කඩකින් පරණ වස්ත්‍රයකට අණ්ඩයක් දමන කිසිවෙක් නැත, එසේ කළොත්, අලුත් රෙදි කඩට පරණ රෙද්ද ඇදී ඉරුම වඩා ලොකු වේ.</verse>
				<verse number="22">අලුත් මිදියුස පැරණි සම් බඳුන්වල වක්කරන කිසිවෙක් නැත. එසේ කළොත්, මිදියුසින් සම් බඳුන් පැළී, මිදියුසත් බඳුනුත් දෙක ම නැති වේ. නව මිදියුස දැමිය යුත්තේ නව බඳුන්වලට ම ය.”</verse>
				<verse number="23">තවද, උන් වහන්සේ සබත් දිනයේ දී වෙල්යායක් මැදින් වඩින විට, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කරල් කඩ කඩා ගියහ.</verse>
				<verse number="24">පරිසිවරු ඒ දැක, “බලන්න, මොවුන් සබත් දිනයෙහි නොකට යුත්තක් කරන්නේ මක්නිසා දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.</verse>
				<verse number="25">උන් වහන්සේ උත්තර දෙමින්, දාවිත් රජ තමාට ද සිය පිරිවරට ද කෑමට කිසිවක් නැති ව බඩගිනි වූ කල කළ දේ,</verse>
				<verse number="26">එනම්, අබියාතර් නායක පූජක ව සිටිය දී දාවිත් දෙවියන් වහන්සේගේ ගෘහයට පිවිස පූජකයන් මිස අන් කිසිවෙකු නොකෑ යුතු පිදූ රොටි කා, සිය පිරිවරටත් දුන් වග, ඔබ කවදාවත් කියවා නැද්දැ”යි ඇසූ සේක.</verse>
				<verse number="27">උන් වහන්සේ ඔවුන්ට කතා කොට, සබත පිහිටුවන ලද්දේ මිනිසා උදෙසා ය; මිනිසා සබත උදෙසා නොවේ;</verse>
				<verse number="28">එහෙයින් මනුෂ්‍ය-පුත්‍රයාණෝ සබත් දිනට පවා අධිපතියාණෝ ය”යි වදාළ සේක.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">තවත් දිනක උන් වහන්සේ ධර්මශාලාවට වැඩිය විට, අතක් පණ නැති මිනිසෙක් එහි විය.</verse>
				<verse number="2">එවිට එහි රැස් ව සිටි අය උන් වහන්සේට වරද තබන පිණිස, සබත් දිනයේ දී උන් වහන්සේ ඔහු සුව කරනු ඇද්දැ යි බල බලා උන්හ.</verse>
				<verse number="3">උන් වහන්සේ අත පණ නැති මිනිසාට කතා කොට, “නැඟිට ඉදිරියට එන්නැ”යි වදාරා</verse>
				<verse number="4">ඉන්පසු, “සබත් දිනයේ දී කළ යුත්තේ යහපත ද අයහපත ද, ප්‍රාණයක් ගැළවීම ද නැසීම දැ”යි සෙනඟගෙන් ඇසූ සේක. එහෙත්, ඔව්හු නිහඬ ව සිටියහ.</verse>
				<verse number="5">උන් වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම ගැන දුක් ව, උදහසින් වටේට බලා “ඔබේ අත දිග හරින්නැ”යි ඒ මිනිසාට වදාළ සේක. ඔහු එය දිග හැරියේ ය. එකෙණෙහි ම ඔහුගේ අත සුව විය.</verse>
				<verse number="6">එවිට පරිසිවරු පිටත් ව ගොස් උන් වහන්සේ කෙසේ නසමු දැ යි උන් වහන්සේට විරුද්ධ ව හෙරෝදීයයන් සමඟ එකෙණෙහි ම කුමන්ත්‍රණය කළහ.</verse>
				<verse number="7">ජේසුස් වහන්සේ එතැනින් නික්ම සිය ශ්‍රාවකයන් සමඟ මුහුදු වෙරළට වැඩිය සේක. ගලීලයෙන් සහ ජුදයෙන් ද</verse>
				<verse number="8">ජෙරුසලමෙන් ද ඉදුමයෙන් ද ජොර්දාන් එගොඩින් ද තීර් සහ සීදොනය අවටින් ද මහා ජනකායක් උන් වහන්සේ කළ සියල්ල ගැන අසා උන් වහන්සේ වෙත ආහ.</verse>
				<verse number="9">සමූහයා උන් වහන්සේ නොතෙරපෙන පිණිස තමන් හට ඔරුවක් සූදානම් ව තිබිය යුතු යයි උන් වහන්සේ ශ්‍රාවකයන්ට වදාළ සේක.</verse>
				<verse number="10">එසේ කීවේ, උන් වහන්සේ බොහෝ දෙනෙකු සුව කළ හෙයින්, රෝගී වූ සියලු දෙනා එතුමන් ස්පර්ශ කරන්නට රැස් කකා ආ බැවිනි.</verse>
				<verse number="11">අශුද්ධාත්මයෝ ද උන් වහන්සේ දුටු හැම විට ම උන් වහන්සේගේ පාමුල වැඳ වැටී, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය”යි මොරගා කී හ.</verse>
				<verse number="12">තමා කවරෙක් දැ යි හෙළි නොකරන ලෙස උන් වහන්සේ ඔවුන්ට තදින් අණ කළ සේක.</verse>
				<verse number="13">උන් වහන්සේ කඳුකරයට වැඩම කර, තමන් කැමැති වූවන් තමන් වෙත කැඳවූ සේක. ඔව්හු උන් වහන්සේ වෙත ආවෝ ය.</verse>
				<verse number="14">උන් වහන්සේ දොළොස් දෙනෙකු පත් කළ සේක; ඔවුන්ට ප්‍රේරිතයෝ යයි නම් තැබූ සේක. උන් වහන්සේ එසේ කෙළේ, ඔවුන් තමන් හා සමඟ සිටින පිණිසත්, සුබ අස්න දේශනා කිරීමට යවන පිණිසත්,</verse>
				<verse number="15">දුෂ්ටාත්මයන් දුරු කිරීමේ බලය ඇති ව සිටින පිණිසත් ය,</verse>
				<verse number="16">එසේ පත් කළ දොළොස් දෙනා කවුරු ද යත්: පේදුරු යයි උන් වහන්සේ නම් කළ සීමොන් ද,</verse>
				<verse number="17">‘ගර්ජනා පුත්‍රයෝ’ යන අර්ථය දෙන ‘බෝවනර්ගස්’ යයි උන් වහන්සේ නම් කළ සෙබදීගේ පුත් ජාකොබ් සහ ඔහුගේ සොහොයුරු ජොහන් ද</verse>
				<verse number="18">ඇන්ඩෘ සහ පිලිප් ද බර්තොලමෙව් සහ මතෙව් ද තෝමස් සහ අල්පෙවුස්ගේ පුත් ජාකොබ් ද තද්දෙවුස් සහ අන්ත ජාතිවාදී සීමොන් ද</verse>
				<verse number="19">උන් වහන්සේ පාවා දුන් ජූදස් ඉස්කාරියොත් ද යන මොවුහු ය.</verse>
				<verse number="20">උන් වහන්සේ ගෙදර ගිය සේක. ඔවුන්ට කෑම කන්න වත් අවකාශ නැති වන තරමට සමූහයක් යළිත් රැස් වූ හ.</verse>
				<verse number="21">උන් වහන්සේගේ නෑදෑයෝ ඒ අසා උන් වහන්සේ අල්ලාගැනීමට ගියහ. එසේ ගියේ, “උන් වහන්සේ සිහිවිකල් වී සිටිති”යි සමහරුන් කී බැවිනි.</verse>
				<verse number="22">ජෙරුසලමෙන් ආ විනයධරයෝ, “මොහුට බෙල්සෙබුල් ආවේශ වී ඇතැ යි”ද, “දුෂ්ටාත්මාධිපති බලයෙන් ඔහු දුෂ්ටාත්මයන් දුරු කරති”යි ද කී හ.</verse>
				<verse number="23">එවිට උන් වහන්සේ ඔවුන් තමන් වෙත කැඳවා, උපමාවලින් කතා කරමින් මෙසේ වදාළ සේක: “සාතන් දුරු කරන්න සාතන්ට ම පුළුවන් ද?</verse>
				<verse number="24">යම් රාජ්‍යයක් ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒ රාජ්‍යයට පවතින්න නොහැකි ය.</verse>
				<verse number="25">යම් ගෙදරක් ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒ ගෙදරට පැවැත්මක් නැත්තේ ම ය.</verse>
				<verse number="26">සාතන් තමාට ම විරෝධී ව නැඟී භේද වුවහොත්, ඔහුට පැවැත්මක් නැත. එය අවසානය වේ.</verse>
				<verse number="27">එහෙත්, බලවතෙකු පළමුකොට බැඳදමා මිස, ඔහුගේ ගෙට වැද බඩු කොල්ලකන්න කිසිවෙකුට නොහැකි ය. ඔහුගේ ගෙය කොල්ලකන්න හැකි වන්නේ, එසේ කළොත් පමණකි.</verse>
				<verse number="28">“සැබැවින් ම මම ඔබට කියමි, මිනිසුන්ගේ සෑම පාපයන් ද සියලු ආකාර දේව අපහාසයන් ද කමා කරනු ලබන්නේ ය.</verse>
				<verse number="29">එහෙත්, ශුද්ධාත්මයාණන්ට අපහාස කරන කිසිවෙකුට කවර කලක වත් කමාවක් නැත්තේ ය. ඔහු සදාතන පාපයක් ගැන වරදකරුවෙකි.”</verse>
				<verse number="30">මෙසේ වදාළේ, “උන් වහන්සේට අශුද්ධාත්මයක් වැහී ඇතැ”යි ඔවුන් පැවසූ බැවිනි.</verse>
				<verse number="31">එවිට උන් වහන්සේගේ මෑණියෝ ද සහෝදරයෝ ද අවුත් පිටත සිට, උන් වහන්සේ කැඳවා පණිවුඩයක් යැවූ හ.</verse>
				<verse number="32">සමූහයක් උන් වහන්සේ අවට වාඩි වී උන්හ. ඔව්හු, “අන්න, ඔබේ මෑණියෝත්, සහෝදරයෝත්, සහෝදරියෝත් පිටත සිට ඔබ සොයති”යි උන් වහන්සේට කී හ.</verse>
				<verse number="33">උන් වහන්සේ උත්තර දෙමින්, “මාගේ මෑණියෝත්, මාගේ සහෝදරයෝත් කවුරු ද” කියා පෙන්වමින්,</verse>
				<verse number="34">තමන් පිරිවරා අවට වාඩි වී සිටියවුන් දෙස වටේට බලා, “මෙන්න මාගේ මෑණියෝ, මෙන්න මාගේ සහෝදරයෝ!</verse>
				<verse number="35">දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවරෙක් හෝ වෙත් වා, ඔව්හු මාගේ සහෝදරයාත්, මාගේ සහෝදරීත්, මාගේ මෑණියෝත් ය”යි වදාළ සේක.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">නැවත උන් වහන්සේ මුහුද අද්දර උගන්වන්න පටන්ගත් සේක. එකල ඉතා මහත් ජනකායක් රැස් වූ බැවින් උන් වහන්සේ මුහුදේ ඔරුවකට නැඟී වැඩහුන් සේක. මුළු සමූහයා ද වෙරළ දිගේ සිටියෝ ය.</verse>
				<verse number="2">උන් වහන්සේ උපමාවලින් ඔවුන්ට බොහෝ කාරණා ඉගැන්වූ සේක. සිය ඉගැන්වීමේ දී උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක:</verse>
				<verse number="3">“සවන් දෙන්න! වපුරන්නෙක් වපුරන්නට නික්මිණි.</verse>
				<verse number="4">ඔහු වපුරන කල මෙසේ සිදුවිය. බීජ සමහරක් මඟ අද්දර වැටිණි. කුරුල්ලෝ අවුත් ඒවා අවුලා කෑවෝ ය.</verse>
				<verse number="5">තව සමහරක් පස තුනී ගල් බිමේ වැටී, පස ගැඹුරු නුවූ නිසා වහා පැළ විය.</verse>
				<verse number="6">හිරු නැඟුණු කල ඒවා දැවී, මුල් නැති බැවින් වියළී ගියේ ය.</verse>
				<verse number="7">අන් සමහරක් කටු පැළ අතර වැටිණි. කටු පැළ වැවී, ඒවා යටපත් කළ බැවින් ඒවා පල නොදැරී ය.</verse>
				<verse number="8">තවත් සමහරක් සරු බිමේ වැටිණි. ඒවා පැළ වී, වැඩී, පල දරමින්, එකකින් තිස් ගුණයක් ද එකකින් සැට ගුණයක් ද එකකින් සිය ගුණයක් ද බැගින් අස්වැන්න ඉපදවිය.</verse>
				<verse number="9">සවන් ඇත්තෝ සවන් දෙත් වා!”</verse>
				<verse number="10">උන් වහන්සේ තනියම සිටිය දී, දොළොස් දෙනා සමඟ උන් වහන්සේ පිරිවරා සිටි අය උපමා ගැන උන් වහන්සේගෙන් ඇසූ හ.</verse>
				<verse number="11">උන් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළ සේක: “දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ අබිරහස ඔබට දන්වා දී ඇත. එහෙත්, පිටත සිටින අයට සියල්ලක් ම උපමා මඟින් දන්වනු ලැබේ.</verse>
				<verse number="12">එසේ වන්නේ: ‘දැක දැක නොදක්නා පිණිසත්, අස අසා වටහා නොගන්නා පිණිසත් ය. මන්ද, යම් හෙයකින් එසේ වුවහොත්, ඔවුන් දෙවියන් වහන්සේ වෙත හැරී කමාව ලබන්න පුළුවන් නිසා ය.’ “</verse>
				<verse number="13">තවද, උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: “මේ උපමාව ඔබට වැටහෙන්නේ නැද් ද? එසේ නම්, කවර උපමාවක් වත් තේරුම්ගන්නේ කෙසේ ද?</verse>
				<verse number="14">වපුරන්නා වචනය වපුරයි.</verse>
				<verse number="15">මඟ අසල වූවෝ යන්නෙන් අදහස් කරනුයේ වචනය වපුරනු ලැබූ කල එය ඇසූ වහා ම සාතන් විත් සිතෙහි වපුරන ලද වචනය පැහැරගනු ලැබූ අය ය.</verse>
				<verse number="16">ගල් බිමෙහි වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුයේ වචනය ඇසූ කෙණෙහි ම, එය සතුටින් පිළිගන්න නමුත්,</verse>
				<verse number="17">තමන් සිත්හි කිඳා නොබසින බැවින් මඳ කලක් පැවත, වචනය නිසා විපතක් හෝ පීඩාවක් හෝ පැමිණි කල, වහා ම පැකිළී වැටෙන අය ය.</verse>
				<verse number="18">සෙස්සෝ, කටු අතරේ වැපුරූ බීජවලට සමාන ය. ඔවුන් වචනය ඇසූ නමුත්,</verse>
				<verse number="19">මේ ලෝකයේ කම්කටොලු හා වස්තු මායාව ද අනිකුත් දෙයට තණ්හාව ද ඔවුන් තුළට ඇතුළු වෙමින් වචනය හිර කරයි. ඔව්හු ද පල නොදරති.</verse>
				<verse number="20">සරු බිමෙහි වැපුරූ බීජ යන්නෙන් අදහස් කරනුයේ වචනය අසා, එය පිළිගෙන, තිස් ගුණයක් ද සැට ගුණයක් ද සිය ගුණයක් ද බැගින් පල දරන අය ය.”</verse>
				<verse number="21">තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, “පහනක් ගෙනෙන්නේ බඳුනක් හෝ යහනක් හෝ යට තබන පිණිස ද? පහන් රුක උඩ තැබීමට නොවේ ද?</verse>
				<verse number="22">මන්ද යත්, හෙළි නොකරනු ලබන සැඟවුණ දෙයක් වත්, පළ නොකරනු ලබන රහසක් වත් නැති හෙයිනි.</verse>
				<verse number="23">සවන් ඇත්තෝ සවන් දෙත් වා!”යි වදාළ සේක.</verse>
				<verse number="24">තවද, උන් වහන්සේ ඔවුන් අමතා, “ඔබ අසන දේ හොඳින් සිතට ගන්න. ඔබ මැන දෙන මිනුමෙන් ම ඔබටත් මැන දෙනු ලැබේ; වැඩියෙනුත් දෙනු ලැබේ.</verse>
				<verse number="25">යමක් ඇති තැනැත්තාට වැඩියෙනුත් දෙනු ලැබේ; නැති තැනැත්තාගෙන් ඇති දෙයත් ගනු ලැබේ” යයි වදාළ සේක.</verse>
				<verse number="26">තවද, උන් වහන්සේ කතා කරමින්, “දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙබඳු ය. මිනිසෙක් පොළොවෙහි බීජ වපුරයි;</verse>
				<verse number="27">රෑ දාවල් දෙක්හි ඔහු නිදා සිටිය දීත්, අවදිව සිටිය දීත්, ඔහු නොදන්නා අයුරින් බීජ පැළවී වැඩෙයි.</verse>
				<verse number="28">පොළොව එහි ස්වභාවයෙන් ම පල හටගන්වයි. පළමුව දලුව ද දෙවනුව කරල ද ඉන්පසු කරල පුරා ධාන්‍ය ද හටගනියි.</verse>
				<verse number="29">ගොයම පැසුණු කල අස්වැන්න කාලය පැමිණියෙන්, ඔහු වහා ම දෑකැත්ත යොදන්නේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="30">තවද උන් වහන්සේ මෙසේ වදාළ සේක: “මම දෙවියන් වහන්සේගේ රාජ්‍යය කුමකට සමාන කරම් ද? නැතහොත් කවර උපමාවකින් එය පහදා දෙම් ද?</verse>
				<verse number="31">එය අබ ඇටයකට සමාන ය. එය පොළොවේ වපුරන කල මිහි පිට සියලු බීජවලට වඩා කුඩා වුවත්,</verse>
				<verse number="32">වපුළායින් පසුව වැඩී, සියලු ම පැළෑටිවලට වඩා ලොකු වේ. එහි සෙවණෙහි අහසේ කුරුල්ලන්ට ලගින්න හැකි වන තරම් විශාල අතු එය විහිදුවන්නේ ය.”</verse>
				<verse number="33">උන් වහන්සේ මෙවැනි උපමා රැසක් මඟින්, අසන්නන්ට තේරුම්ගත හැකි පමණට දහම් දෙසූ සේක.</verse>
				<verse number="34">උපමාවක් නැති ව උන් වහන්සේ ඔවුන්ට කිසිත් නොවදාළ සේක. එහෙත්, උන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට පෞද්ගලික ලෙස සියල්ල පහදා දුන් සේක.</verse>
				<verse number="35">එදා සවස් වූ කල, “අපි එගොඩ යමු”යි උන් වහන්සේ ශ්‍රාවකයන්ට වදාළ සේක.</verse>
				<verse number="36">ඔව්හු සමූහයා පිටත් කර යවා, උන් වහන්සේ ඔරුවේ හුන් ලෙස ම තමන් සමඟ ගෙන ගියෝ ය. ඒ සමඟ තවත් ඔරු තිබිණි.</verse>
				<verse number="37">එවිට චණ්ඩ මාරුතයක් හමා, ඔරුව පිරී යන තරමට එයට රැළ ගැසී ය.</verse>
				<verse number="38">උන් වහන්සේ ඔරුවේ අවරයෙහි, මෙත්තය මත නිදා හුන් සේක. ඔව්හු උන් වහන්සේ පුබුදුවා, “ගුරුදේවයෙනි, අප විනාශ වන්න ළඟ ය, ඔබට කිසි ගණනක් නැද්දැ”යි ඇසූ හ.</verse>
				<verse number="39">උන් වහන්සේ අවදි ව සුළඟට තර්ජනය කොට, “නිශ්ශබ්ද වෙව, නිශ්චල වෙව”යි මුහුදට අණ කළ සේක. සුළඟ නැවතිණි. මහා නිශ්චලයක් විය.</verse>
				<verse number="40">උන් වහන්සේ ද, “ඔබ ඔය තරම් බිය වන්නේ මන් ද? තව ම ඔබට ඇදහිල්ල නැද්දැ”යි ඇසූ සේක.</verse>
				<verse number="41">ඔව්හු මහත් භීතියකින් ඇලළී, “මේ කවරෙක් ද? සුළඟ සහ මුහුද පවා උන් වහන්සේට කීකරු වන්නේ ය”යි එකිනෙකාට කී හ.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">ඔව්හු මුහුදින් එතෙර ගෙරසීනයන්ගේ රටට පැමිණියහ.</verse>
				<verse number="2">උන් වහන්සේ ඔරුවෙන් බැස ආ කෙණෙහි ම අශුද්ධාත්මයක් ආවේශ වූවෙක් සොහොන් ගුහා අතරින් නික්ම එනු උන් වහන්සේට හමු විය.</verse>
				<verse number="3">ඔහු වාසය කෙළේ සොහොන් ගුහාවල ය. කිසිවෙකුට ඔහු කිසි සේත් දමනය කළ නොහැකි විය; යදමකින් වත් එය කළ නොහැකි විය.</verse>
				<verse number="4">බොහෝ වර විලංගුවලින් ද යදම්වලින් ද බඳිනු ලැබූ නමුත්, ඔහු යදම් කැබලි කොට කඩා, විලංගු සුණු විසුණු කොට දැමී ය. ඔහු මැඩලීමට තරම් ශක්තිය කිසිවෙකුට නො වී ය.</verse>
				<verse number="5">ඔහු දිවා රෑ දෙක්හි ම, කෑකෝගසමින් ද ගල්වලින් කපාගනිමින් ද සොහොන් ගුහා අතරත්, කඳු බෑවුම්වලත් සිටියේ ය.</verse>
				<verse number="6">ඔහු ජේසුස් වහන්සේ වඩිනු දුරතියා දැක, දිව අවුත්, පසඟ පිහිටුවා වැඳ,</verse>
				<verse number="7">මහහඬින් මොරගා, “පරමෝත්තම දෙවියන්ගේ පුත්‍ර වූ, ජේසුස් වහන්ස, ඔබත් මාත් අතර මොන ගනුදෙනුවක් ද? මට වද නොදෙන මෙන්‍ දෙවියන්ගේ නාමයෙන් අයැදිමි”යි කී ය.</verse>
				<verse number="8">එසේ කීවේ “අශුද්ධාත්මය, මේ මිනිසාගෙන් දුරුවෙව”යි උන් වහන්සේ ඔහුට කී බැවිනි.</verse>
				<verse number="9">“නුඹේ නම කුමක් දැ”යි උන් වහන්සේ ඔහුගෙන් ඇසූ සේක. “මගේ නම සේනා ය, අපි සේනාංකයක් වම්හ”යි ඔහු කී ය.</verse>
				<verse number="10">තමන් රටෙන් පිට නොකරන ලෙස ඔහු උන් වහන්සේගෙන් උදක් ම අයැද සිටියේ ය.</verse>
				<verse number="11">එතැන කන්ද අද්දර මහත් ඌරු රැළක් ගොදුරු කමින් සිටියෝ ය.</verse>
				<verse number="12">අශුද්ධාත්මයෝ ද, “ඌරන්ට වැහෙන පිණිස අප උන් මැදට යැවුව මැනවැ”යි අයැද සිටියහ.</verse>
				<verse number="13">උන් වහන්සේ අවසර දුන් සේක. අශුද්ධාත්මයෝ නික්ම අවුත් ඌරන්ට වැහුණෝ ය. දෙ දහසක් පමණ වූ ඒ ඌරු රැළ ප්‍රපාතයෙන් පහත මුහුදට වේගයෙන් දිව ගොස් මුහුදේ ගිලී මළෝ ය.</verse>
				<verse number="14">ඌරු ගොවුවෝ පලා ගොස්, නුවර ද ගම්මානයේ ද එපවත් පතළ කළෝ ය. එවිට සිදුවූ දේ කුමක් දැ යි බලන පිණිස මිනිස්සු නික්ම ආහ.</verse>
				<verse number="15">ඔව්හු ජේසුස් වහන්සේ වෙත පැමිණ, අශුද්ධාත්මාවේශ වූ මිනිසා, එනම්, දුෂ්ටාත්ම සේනාංකය වැහී සිටි මිනිසා දැන් වස්ත්‍ර හැඳ හොඳ සිහිකල්පනාවෙන් හිඳිනු දැක භීතියට පත් වූ හ.</verse>
				<verse number="16">එය සියැසින් දුටු අය අශුද්ධාත්මාවේශ වූ මනුෂ්‍යයාට සිදුවූ දෙය ද ඌරන් පිළිබඳ සිද්ධිය ද ඔවුන්ට කියා දුන්හ.</verse>
				<verse number="17">ඔව්හු ද සිය දේශ සීමාවලින් පිට වී යන මෙන්‍ උන් වහන්සේගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියෝ ය.</verse>
				<verse number="18">උන් වහන්සේ ඔරුවට නඟිද්දී, අශුද්ධාත්මාවේශ ව සිටි මිනිසා තමාටත් උන් වහන්සේ සමඟ යාමට අවසර දෙන මෙන්‍ ආයාචනා කෙළේ ය.</verse>
				<verse number="19">උන් වහන්සේ ඊට අවසර නුදුන් සේක. “එහෙත්, ඔබ ගෙදර නෑ මිතුරන් වෙත ගොස්, සමිඳාණන් වහන්සේ ඔබට කොතරම් මහත් දේ කළ සේක් ද කොතරම් අනුකම්පාව පෙන්වූ සේක් ද කියා ඔවුන්ට දන්වන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="20">ඔහු නික්ම ගොස්, ජේසුස් වහන්සේ තමාට කොතරම් මහත් දේ කළ සේක් දැ යි දෙකපොලිසෙහි ප්‍රසිද්ධ කරන්න වුනි. සියල්ලෝ ම විස්මිත වූ හ.</verse>
				<verse number="21">ජේසුස් වහන්සේ යළිත් ඔරුවෙන් එතෙර වූ කල මහා ජනකායක් උන් වහන්සේ වෙත රැස් වූ හ. උන් වහන්සේ ද මුහුදු වෙරළෙහි වැඩසිටි සේක.</verse>
				<verse number="22">එකල ධර්මශාලා ප්‍රධානීන් අතුරෙන් යායිරස් නමැත්තෙක් අවුත්, උන් වහන්සේ දැක, පාමුල වැටී,</verse>
				<verse number="23">“මගේ පුංචි දුව මරණාසන්න ව සිටියි. ඈ සුවය ලබා ජීවත් වන පිණිස, ඔබ අවුත් ඈ පිට අත තැබුව මැනවැ”යි උන් වහන්සේට ආයාචනා කෙළේ ය.</verse>
				<verse number="24">උන් වහන්සේ ඔහු සමඟ වැඩිය සේක. මහත් සමූහයක් උන් වහන්සේ තෙරපමින් උන් වහන්සේ පිරිවරා ගියහ.</verse>
				<verse number="25">දොළොස් වසරක් ම මහා ලේ රෝගයෙන් පෙළුණු ස්ත්‍රියක් එහි වූවා ය.</verse>
				<verse number="26">ඈ බොහෝ වෙදුන් අතින් අපමණ දුක් විඳ, තමා සතු සියල්ල වියදම් කොටත්, කිසි ගුණයක් නොලැබුවා ය. එපමණක් නොව ඇගේ තත්ත්වය අනුක්‍රමයෙන් වඩ වඩාත් උග්‍ර විය.</verse>
				<verse number="27">ඈ ජේසුස් වහන්සේ ගැන අසා, සමූහයා අතර පිටුපසින් ඇවිත්, උන් වහන්සේගේ වස්ත්‍රයට අත තැබුවා ය.</verse>
				<verse number="28">උන් වහන්සේගේ වස්ත්‍රවලට පමණ වත් අත තැබුවොත්, තමාට සුවය ලැබෙනු ඇතැ යි ඈ සිතුවා ය.</verse>
				<verse number="29">එකෙණෙහි ම ලේ ධාරාව නැවතී ඒ පීඩාවෙන් ඈට සුවය ලැබුණු බව ඇගේ ම ඇඟට දැනිණි.</verse>
				<verse number="30">එවේලේ ම ජේසුස් වහන්සේ තමන් කෙරෙන් අනුහස නික්ම ගිය බව දැන, සමූහයා මැද හැරී, “මාගේ වස්ත්‍රවලට අත තැබුවේ කවරෙක් දැ”යි ඇසූ සේක.</verse>
				<verse number="31">උන් වහන්සේගේ ශ්‍රාවකයෝ උත්තර දෙමින්, “සමූහයා ඔබට තෙරපි තෙරපී සිටිනු දැක දැකත්, මට අත ගැසුවේ කවරෙක් ද කියා අසන සේක් දැ”යි කී හ.</verse>
				<verse number="32">ඒ දේ කෙළේ කවරෙක් දැ යි සොයනු වස් උන් වහන්සේ අවට බැලූ සේක.</verse>
				<verse number="33">එහෙත් ස්ත්‍රිය සිදු වූ දේ දැක බිය වී, වෙවුළ වෙවුළා අවුත්, උන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටී, මුළු ඇත්ත උන් වහන්සේට කීවා ය.</verse>
				<verse number="34">උන් වහන්සේ කතා කරමින්, “දියණියනි, ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කෙළේ ය; ශාන්ත සිතින් යන්න; ඔබේ පීඩාවෙන් මිදී වසන්නැ”යි ඈට වදාළ සේක.</verse>
				<verse number="35">උන් වහන්සේ මෙවදන් පවසත්ම ධර්මශාලා නායකයාගේ ගෙදරින් සමහරු අවුත්, “ඔබේ දුව මළා ය. ඉතින් ගුරුදේවයන් තවත් වෙහෙසන්නේ කුමට දැ”යි කී හ.</verse>
				<verse number="36">එහෙත්, ජේසුස් වහන්සේ ඒ කීම නොසලකා ධර්මශාලා නායකයාට කතා කොට, “බිය නොවන්න, ඇදහිල්ල ඇති ව සිටින්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="37">උන් වහන්සේ පේදුරු ද ජාකොබ් ද ජාකොබ්ගේ සහෝදර වූ ජොහන් ද හැර අන් කිසිවෙකුට තමන් සමඟ එන්න ඉඩ නුදුන් සේක.</verse>
				<verse number="38">ඔව්හු ධර්මශාලා නායකයාගේ නිවෙසට පැමිණියෝ ය. එවිට උන් වහන්සේ කලබලයක් ද විලාප හා ළතෝනි නඟන්නන් ද දැක,</verse>
				<verse number="39">ගෙට පිවිස, “ඔබ කලබල වන්නේත්, විලාප කියන්නේත් මන් ද? දැරිය මැරී නැත; ඈ නිදන්නී ය”යි ඔවුන්ට වදාළ සේක.</verse>
				<verse number="40">එවිට ඔව්හු උන් වහන්සේට සරදම් කළහ. එහෙත්, උන් වහන්සේ සියල්ලන් බැහැර කොට, දරුවාගේ පියා ද මව ද තමන් සමඟ සිටියවුන් ද කැඳවාගෙන දරුවා හුන් තැනට ගොස්</verse>
				<verse number="41">ඇය අතින් අල්ලා, “තලිතාකුම්”යි ඈට වදාළ සේක. එහි අර්ථය: “දැරිය, මම ඔබට කියමි, නැඟිටින්න” යනු ය.</verse>
				<verse number="42">දොළොස් හැවිරිදි ඒ දැරිය, එකෙණෙහි ම නැඟිට ඇවිද්දා ය. ඔව්හු ද ඉමහත් විස්මයකින් භ්‍රාන්ත වූ හ.</verse>
				<verse number="43">මෙය කිසිවෙකුට නොදන්වන ලෙස ඔවුන්ට තදින් අණ දී, උන් වහන්සේ ඈට කෑමට යමක් දෙන්න නියම කළ සේක.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">උන් වහන්සේ එතැනින් නික්ම සිය රටට පැමිණි සේක. ශ්‍රාවකයෝ ද උන් වහන්සේ පිරිවරා ගියහ.</verse>
				<verse number="2">එය සබත් දින වූයෙන් උන් වහන්සේ ධර්මශාලාවෙහි උගන්වන්න පටන්ගත් සේක. උන් වහන්සේට සවන් දුන් සමූහයා විස්මිත ව, “මොහුට මේ දේවල් පහළ වූයේ කොහෙන් ද? මොහුට දී තිබෙන මේ ප්‍රඥාව කිමෙක් ද? මොහු අතින් කරනු ලබන හාස්කම් කවරේ ද?</verse>
				<verse number="3">මොහු වඩුවා නොවේ ද? මරියාගේ පුතා නොවේ ද? ජාකොබ්, ජෝසෙප්, ජූදස් හා සීමොන් යන අයගේ සහෝදරයා නොවේ ද? මොහුගේ සහෝදරියනුත් අප අතර සිටිනවා නොවේ ද?” කියා ඔව්හු උන් වහන්සේ ප්‍රතික්ෂේප කළහ.</verse>
				<verse number="4">ජේසුස් වහන්සේ කතා කරමින්, “දිවැසිවරයෙකුට ගරුබුහුමන් නැත්තේ සිය ගමේ දීත්, නෑදෑයන් අතර දීත්, තම ගෙදර දීත් පමණකැ”යි වදාළ සේක.</verse>
				<verse number="5">එහි දී රෝගීන් ස්වල්ප දෙනෙකු පිට අත් තබා සුව කිරීම හැර, අන් කිසි හාස්කමක් කරන්න උන් වහන්සේට නොහැකි විය.</verse>
				<verse number="6">ඔවුන්ගේ අවිශ්වාසය ගැන උන් වහන්සේ මවිත වූ සේක. උන් වහන්සේ අනුශාසනා කරමින් අවට ගම්වල සැරිසැරූ සේක.</verse>
				<verse number="7">එකල උන් වහන්සේ දොළොස් දෙනා තමන් වෙත කැඳවා ඔවුන් දෙදෙනා බැගින් පිටත් කර යැවූ සේක. අශුද්ධාත්මයන් කෙරෙහි ඔවුන්ට බලය ද දුන් සේක.</verse>
				<verse number="8">ගමනට සැරයටියක් හැර, රොටි වත්, මල්ලක් වත්, පසුම්බිවල මුදල් වත් යන කිසිවක් නොගෙන, වහන් පය ලා,</verse>
				<verse number="9">කමිස දෙකක් නොගෙන යන ලෙස ඔවුන්ට අණ කළ සේක.</verse>
				<verse number="10">තවද, උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඔබ යම් කිසි නිවසකට පිවිසි කල, එතැනින් පිට වී යන තෙක් එහි ම නවතින්න.</verse>
				<verse number="11">යම් තැනක දී, ඔවුන් ඔබ පිළිගන්නේ වත් ඔබේ වචන අසන්නේ වත් නැත්නම්, එතැනින් පිට වී යන කල ඔවුන්ට විරුද්ධ ව සාක්ෂියක් වන පිණිස ඔබේ පාදවල තිබෙන ධූලි ගසා දමන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="12">එලෙස ඔව්හු පිටත් ව ගොස් සෙනඟ පසුතැවී සිත් හරවා ගත යුතු ය යි දේශනා කළහ.</verse>
				<verse number="13">තවද, ඔව්හු බොහෝ දුෂ්ටාත්මයන් දුරු කොට, බොහෝ රෝගීන් ද තෙලින් ආලේප කොට සුවපත් කළහ.</verse>
				<verse number="14">එකල ජේසුස් වහන්සේගේ කීර්තිරාවය පතළ වී ගිය බැවින් හෙරොද් රජුට එපවත් සැළ විය. සමහරු, “ස්නාවක ජොහන් මළවුන් කෙරෙන් උත්ථාන වී ඇත; මේ බලමහිම ඔහු තුළ ක්‍රියා කරන්නේ ඒ නිසා ය”යි කී හ.</verse>
				<verse number="15">එහෙත් සමහරු, “මොහු එලියා ය”යි කී හ. අන් සමහරු, “මොහු පෙර සිටි දිවැසිවරයන් වැනි දිවැසිවරයෙකැ”යි කී හ.</verse>
				<verse number="16">එහෙත්, හෙරොද් ඒ ඇසූ කල, “මේ මා විසින් හිස ගසාදම්මන ලද ජොහන් ය; මොහු මළවුන්ගෙන් නැඟිට සිටී” යයි කී ය.</verse>
				<verse number="17">හෙරොද් සිය සොහොයුරා වන පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් සරණ පාවාගත් බැවින්, ඇය නිසා මිනිසුන් යවා ජොහන් අල්ලා බැඳ හිර අඩස්සි කෙළේ ය.</verse>
				<verse number="18">“ඔබේ සහෝදරයාගේ භාර්යාව තබාගැනීම ඔබට යුතු නැතැ”යි ජොහන් හෙරොද්ට කී බැවින්,</verse>
				<verse number="19">හෙරෝදියස් ඔහු කෙරේ වෛර බැඳ, ඔහු මරවන්නට අදහස් කරගෙන සිටියා ය. එහෙත්, එය කළ නොහැකි විය.</verse>
				<verse number="20">මන්ද, ජොහන් සත්ගුණවත් දැහැමි මිනිසෙකු බව හෙරොද් දැන, ඔහුට බිය ව, ඔහු ආරක්ෂා කළ හෙයිනි. තවද, ඔහුගේ බස් අසා හෙරොද් බොහෝ වියවුල් වුව ද සන්තෝෂයෙන් ඔහුට කන් දුන්නේ ය.</verse>
				<verse number="21">සුදුසු අවස්ථාවක් පැමිණියෙන්, හෙරොද් සිය ජන්මෝත්සව දින, තමාගේ උසස් නිලධාරීන්ට ද ප්‍රධාන සේනාධිපතීන්ට ද ගලීලයේ ප්‍රභූවරයන්ට ද මංගල භෝජනයක් පිළියෙළ කෙළේ ය.</verse>
				<verse number="22">එවිට හෙරෝදියස්ගේ දුව එහි පිවිස රඟ පා, හෙරොද්ගේ සහ ඔහු සමඟ භෝජන සංග්‍රහයට පැමිණ සිටි අමුත්තන්ගේ නෙත් සිත් පිනවූවා ය. එකල රජතුමා තරුණියට කතා කොට, “ඔබ කැමැති ඕනෑම දෙයක් මාගෙන් ඉල්ලන්න, එය ඔබට දෙමි”යි කී ය.</verse>
				<verse number="23">තවද, “ඉල්ලන ඕනෑම දෙයක්, මාගේ රාජ්‍යයෙන් අඩක් වුවත්, ඔබට දෙමි”යි ඔහු ඇයට දිවුරුම් දුන්නේ ය.</verse>
				<verse number="24">ඈ පිටතට ගොස්, “මම කුමක් ඉල්ලම් දැ”යි ඇගේ මවගෙන් ඇසුවා ය. “ස්නාවක ජොහන්ගේ හිස” යයි ඈ කීවා ය.</verse>
				<verse number="25">එවිට තරුණිය වහා ම රජු වෙත පැමිණ, “ඔබ ස්නාවක ජොහන්ගේ හිස තැටියක ලා දැන් මට දෙනු මැනව”යි කීවා ය.</verse>
				<verse number="26">රජතුමා අතිශයින් ශෝක විය. එහෙත්, ඔහුගේ දිවුරුම නිසා ද, අමුත්තන් නිසා ද, ඈට දුන් පොරොන්දුව කඩ කරන්න අකමැති විය.</verse>
				<verse number="27">එකෙණෙහි ම රජතුමා මුර සෙබළෙකු යවමින් ජොහන්ගේ හිස ගෙනෙන්න අණ කෙළේ ය. ඔහු ද ගොස් හිර ගෙයි දී ජොහන්ගේ හිස ගසාදමා</verse>
				<verse number="28">එය තැටියක ලා ගෙනවුත්, තරුණියට දුන්නේ ය; තරුණිය ද එය මවට දුන්නා ය.</verse>
				<verse number="29">ජොහන්ගේ ගෝලයෝ ඒ ගැන අසා අවුත්, ඔහුගේ මෘත දේහය ගෙන ගොස්, සොහොන් ගෙයක තැන්පත් කළහ.</verse>
				<verse number="30">ප්‍රේරිතයෝ ජේසුස් වහන්සේ වෙත රැස් ව තමන් කළ සියල්ල ද ඉගැන්වූ සියල්ල ද උන් වහන්සේට සැළ කළහ.</verse>
				<verse number="31">එවිට උන් වහන්සේ කතා කරමින්, “ඔබ පමණක් වෙන් ව, හුදකලා තැනකට අවුත් මඳ වේලාවක් විවේක ගන්නැ”යි ඔවුන්ට වදාළ සේක. එසේ කීවේ, ඔවුන්ට කෑම කන්න වත් අවකාශයක් නැති තරමට යන එන අය බොහෝ වූ බැවිනි.</verse>
				<verse number="32">එවිට ඔව්හු පමණක් ඔරුවෙන් හුදකලා තැනකට ගියෝ ය.</verse>
				<verse number="33">බොහෝ දෙනෙක් ඔවුන් යනවා දැක, ඔව්හු කවරහු දැ යි හැඳින, සියලු නුවරවලින් එක් වී ගොඩින් දිව අවුත්, ඔවුන්ට පෙර එහි පැමිණියහ.</verse>
				<verse number="34">උන් වහන්සේ ගොඩට ආ කල, මහ පිරිසක් දැක, එඬේරෙකු නැති බැටළුවන් වැනි වූ, ඔවුන්ට අනුකම්පා කොට, ඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන්ගත් සේක.</verse>
				<verse number="35">දවස ගෙවී යත් ම ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත අවුත්, “මෙය පාළු තැනකි; දැන් රෑ බෝ වී ඇත;</verse>
				<verse number="36">එබැවින් අවට ගම් නියම්ගම් වලට ගොස් තමන්ට කෑමට යමක් මිලයට ගන්න පිණිස මොවුන් යන්න හැරිය මැනවැ”යි කී හ.</verse>
				<verse number="37">එහෙත් උන් වහන්සේ උත්තර දෙමින්, “ඔබ ම ඔවුන්ට කෑමට යමක් දෙන්නැ”යි වදාළ සේක. එවිට ඔව්හු පිළිතුරු දෙමින්, “අප ගොස් රිදී කාසි දෙසියයක රොටි මිල දී ගෙන ඔවුන්ට කෑමට දෙන්න දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.</verse>
				<verse number="38">“ඔබ ළඟ රොටි කීයක් තිබේ ද කියා ගොස් බලන්නැ”යි උන් වහන්සේ ඔවුන්ට වදාළ සේක. ඔව්හු සොයා බලා අවුත්, “රොටි පහක් හා මසුන් දෙදෙනෙකැ”යි කී හ.</verse>
				<verse number="39">උන් වහන්සේ ඔවුන් සියල්ලන් කාණ්ඩ වශයෙන් නිල් තණ බිම පිට හිඳුවන්න ශ්‍රාවකයන්ට අණ කළ සේක.</verse>
				<verse number="40">ඔව්හු සියය සියය හා පණස පණස බැගින්, පේළි වශයෙන් හිඳගත්හ.</verse>
				<verse number="41">උන් වහන්සේ රොටි පහත්, මසුන් දෙදෙනාත් ගෙන ස්වර්ගය දෙස බලා, ආශීර්වාදය පවසා, රොටි කඩා, ඔවුන් ඉදිරියෙහි තබන්න ශ්‍රාවකයන්ට දී, මසුන් දෙදෙනාත් ඒ සැමට බෙදා දුන් සේක.</verse>
				<verse number="42">සෑම දෙන ම කා තෘප්තියට පැමිණියහ.</verse>
				<verse number="43">ඉතිරි රොටි කැබලිවලින් ද මසුන්ගෙන් ද කූඩා දොළොසක් පිරෙන තරම් රැස්කරගත්හ.</verse>
				<verse number="44">රොටි කෑ පුරුෂයෝ පන්දහසක් වූ හ.</verse>
				<verse number="45">එකෙණෙහි ම උන් වහන්සේ සමූහයා විසුරුවා හැරිය සේක. සිය ශ්‍රාවකයන්ට ද ඔරුවට නැඟී තමන්ට පෙරටුව බෙත්සයිදාව බලා එගොඩට යන්න අණ දුන් සේක.</verse>
				<verse number="46">උන් වහන්සේ ඔවුන්ගෙන් වෙන් වූ පසු යාච්ඤා කරනු වස් කන්දට නැඟුණු සේක.</verse>
				<verse number="47">සවස් වූ කල ඔරුව මුහුද මැද විය. උන් වහන්සේ තනි ව ගොඩ සිටි සේක.</verse>
				<verse number="48">සුළඟ ඔවුන්ට විරුද්ධ ව හැමූ බැවින්, ඔවුන් ඔරු පැදීමෙන්‍ වෙහෙසෙනු දුටු උන් වහන්සේ, රෑ සතර වැනි යාමය පමණේ දී මුහුද පිට ඇවිදිමින් ම ඔවුන් වෙත අවුත් ඔවුන් පසු කර යන්න තැත් කළ සේක.</verse>
				<verse number="49">ඔව්හු උන් වහන්සේ මුහුද පිට ඇවිදිනු දැක, “ඒ අවතාරයකැ”යි සිතා බියෙන් මොරගැසූ හ.</verse>
				<verse number="50">සියල්ලෝ ම උන් වහන්සේ දැක බිය වූ හ. එහෙත් උන් වහන්සේ එකෙණෙහි ම, “ධෛර්ය ගන්න; ඒ මම ය; බිය නොවන්නැ”යි ඔවුන්ට කියා</verse>
				<verse number="51">ඔවුන් සිටි ඔරුවට නැඟුණු සේක. සුළඟ නැවතිණි. ඔව්හු විස්මයෙන් විස්මයට පත් වූ හ.</verse>
				<verse number="52">ඔවුන්ගේ මනස අඳුරු වී තිබිණි. මක්නිසා ද රොටි පිළිබඳ සිද්ධිය ඔවුන්ට අවබෝධ නොවූ බැවිනි.</verse>
				<verse number="53">ඔව්හු එගොඩ වී ගෙන්නෙසෙරෙත් රටට පැමිණ ඔරුව වෙරළෙහි බැන්දෝ ය.</verse>
				<verse number="54">ඔවුන් ඔරුවෙන් නික්මුණු කෙණෙහි ම ජනයා උන් වහන්සේ හැඳිනගත්හ.</verse>
				<verse number="55">ඔව්හු ඒ අවට රට පුරා දිව ගොස්, උන් වහන්සේ යම් තැනකට ආ බව පතළ වී ද, එතැනට රෝගීන් යහන් පිටින් උසුලා ගෙනෙන්න පටන්ගත්හ.</verse>
				<verse number="56">උන් වහන්සේ යම් කිසි ගම්මානයකට හෝ ගොවිපොළකට හෝ නුවරකට හෝ ඇතුළු වූ සේක් ද, එහි ඔව්හු රෝගීන් කඩපිල්වල තබා, ඔවුන්ට උන් වහන්සේගේ සළුවේ දාවල්ල පමණ වත් ස්පර්ශ කරන්න ඉඩ දෙන ලෙස ඉල්ලූ හ. එසේ ස්පර්ශ කළ හැම දෙනාට ම සුවය ලැබිණි.</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">තවද, ජෙරුසලමෙන් පරිසිවරු ඇතැම් විනයධරයන් හා සමඟ උන් වහන්සේ වෙතට පැමිණ,</verse>
				<verse number="2">උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් සමහරුන්, අපවිත්‍ර අත්වලින්, එනම්, වත්පිළිවෙත් අනුව අත් නොසෝදා, කෑම කනවා දුටුවෝ ය.</verse>
				<verse number="3">පරිසිවරුත්, සියලු ජුදෙව්වරුත් පරම්පරාගත සම්ප්‍රදායයන් පිළිපදින බැවින් වත්පිළිවෙත් අනුව අත් සෝදාගෙන මිස කෑම නොකන්නෝ ය.</verse>
				<verse number="4">වෙළඳ පොළේ සිට ආ විට, ධෝවනය නිමවා මිස, ඔව්හු කෑමට නොයති. ඔවුන් පිළිපැදීමට බැඳී සිටින තවත් බොහෝ සම්ප්‍රදායයන් ඇත. එනම්, පිඟන්, කළගෙඩි සහ ලෝකඩ හැළිවළං සේදීම ය.</verse>
				<verse number="5">පරිසිවරු ද විනයධරයෝ ද උන් වහන්සේ අමතා, “ඔබේ ශ්‍රාවකයන් පරම්පරාගත සම්ප්‍රදාය අනුව නොහැසිර, වත්පිළිවෙත් අනුව අත් නොසෝදා කෑම කන්නේ මන්දැ”යි ඇසූ හ.</verse>
				<verse number="6">උන් වහන්සේ පිළිතුරු දෙමින්, “කෛරාටිකයෙනි, ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති ලෙස, ඔබ ගැන යෙසායා කී මේ දිවැස් වැකිය මැනවින් ඔබට ගැළපේ: ‘මුවින් මේ සෙනඟ මට ගරු කරති; සිතින් නම් මගෙන් දුරු ව සිටිති.</verse>
				<verse number="7">මිනිස් ඔවා, දෙව් දහම් ලෙස උගන්වා නිසරු ලෙස මා නමදිති.’</verse>
				<verse number="8">ඔබ දෙවියන් වහන්සේගේ ආඥාව ඉවත ලා, මනුෂ්‍යයන්ගේ සම්ප්‍රදායයන් පිළිපදින්නහු ය”යි වදාළ සේක.</verse>
				<verse number="9">උන් වහන්සේ තවදුරටත් කතා කරමින් මෙසේ වදාළ සේක: “ඔබේ සම්ප්‍රදායයන් පිළිපදින පිණිස ඔබ දෙවියන් වහන්සේගේ ආඥාව ප්‍රතික්ෂේප කිරීමට හරි දක්ෂයෝ ය.</verse>
				<verse number="10">මක්නිසා ද ‘ඔබේ පියාට ද මවට ද, ගෞරව කරන්නැ’යි ද, ‘පියාට හෝ මවට නිග්‍රහ කරන්නා මරණ දඬුවම ලැබිය යුතු ය’යි ද මෝසෙස් පවසා ඇත.</verse>
				<verse number="11">එහෙත්, යමෙකු තම පියාට හෝ මවට හෝ කතා කොට, ‘මා විසින් ඔබේ ප්‍රයෝජනය සඳහා වෙන් කරන ලද කොයි දෙයක් වුවත් දේව පඬුරකැ’යි කී පසු</verse>
				<verse number="12">එතැන් සිට පියාට වත් මවට වත් කිසි උපකාරයක් කිරීමට ඔහුට ඉඩ නොදිය යුතු ය යි ඔබ කියන්නහු ය.</verse>
				<verse number="13">මෙසේ කීමෙන්‍ ඔබ අතර පැවත එන ඔබේ ම සම්ප්‍රදායයෙන් ඔබ දෙවියන් වහන්සේගේ වචන අවලංගු කරන්නහු ය. එවැනි තවත් දේ ඔබ කරන්නහු ය”යි වදාළ සේක.</verse>
				<verse number="14">උන් වහන්සේ යළිත් සමූහයා තමන් වෙතට කැඳවා, “ඔබ හැම මට සවන් දී තේරුම්ගන්න.</verse>
				<verse number="15">පිටතින් මිනිසා තුළට පිවිස ඔහු කෙලෙසිය හැකි, කිසි දෙයක් නැත. මිනිසා තුළින් නික්මෙන දෙයින් ඔහු කෙලෙසනු ලබයි;</verse>
				<verse number="16">සවන් ඇත්තෝ සවන් දෙත් වා”යි කී සේක.</verse>
				<verse number="17">උන් වහන්සේ සමූහයා කෙරෙන් වෙන් ව ගෙට පිවිසි කල ශ්‍රාවකයෝ ඒ උපමාව ගැන උන් වහන්සේගෙන් විචාළහ.</verse>
				<verse number="18">උන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබත් වෙන අය සේ ම අවබෝධයක් නැති ව සිටින්නහු ද? පිටතින් මිනිසා තුළට පිවිසෙන කවර දෙයක් වත්,</verse>
				<verse number="19">ඔහුගේ උදරයට මිස හෘදයට ඇතුළු නොවී පහ ව යන බැවින්, ඔහු කෙලෙසන්නට අපොහොසත් බව ඔබට තේරෙන්නේ නැද්දැ”යි ඇසූ සේක. මෙසේ කීමෙන්‍ උන් වහන්සේ සියලු ආහාර වර්ග පවිත්‍ර බව ප්‍රකාශ කළ සේක.</verse>
				<verse number="20">තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, “එහෙත්, මිනිසා කෙලෙසනු ලබන්නේ ඔහු තුළින් නිකුත් වන දෙයින් ම ය.</verse>
				<verse number="21">ඇතුළතින්, එනම්, මිනිස් හදවතින්, නපුරු චේතනා, කාම රාග, සොරකම්, මිනී මැරුම්,</verse>
				<verse number="22">සල්ලාලකම්, තණ්හා, දුෂ්ටකම්, වංචා, හිරි ඔතප් නැති බව, ඊර්ෂ්‍යාව, අපහාසය, අහංකාරය සහ මෝහය නික්මෙයි.</verse>
				<verse number="23">මෙකී සියලු නපුරු දේ ඇතුළතින් නික්ම ඒවායින් මිනිසා කෙලෙසනු ලැබේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="24">උන් වහන්සේ එතැනින් නික්ම තීර් පෙදෙස් බලා පිටත් ව ගොස්, ගෙයකට ඇතුළු වූ සේක. කිසිවෙකු ඒ බව දැනගන්නවාට අකමැති වූ නමුත්, සැඟවී සිටීමට උන් වහන්සේට නොහැකි විය.</verse>
				<verse number="25">එකෙණෙහි ම අශුද්ධාත්මයක් ආවේශ වූ කුඩා දුවක ඇති ස්ත්‍රියක් උන් වහන්සේ ගැන අසා අවුත් උන් වහන්සේගේ පාමුල වැටුණා ය.</verse>
				<verse number="26">ඈ සිරියාවේ පිනීසිය නම් පෙදෙස්හි උපන් ග්‍රීක් ජාතික ස්ත්‍රියකි. ඇගේ දුවගෙන් දුෂ්ටාත්මය දුරු කරන ලෙස ඈ උන් වහන්සේගෙන් අයැද සිටියා ය.</verse>
				<verse number="27">උන් වහන්සේ ඈට උත්තර දෙමින්, “පළමුකොට දරුවෝ තෘප්තියට පැමිණෙත් වා! දරුවන්ගේ කෑම ගෙන බල්ලන්ට දැමීම හරි නැතැ”යි වදාළ සේක.</verse>
				<verse number="28">එහෙත් ඈ උත්තර දෙමින්, “එසේය, ස්වාමීනි, මේසය යට සිටින බල්ලෝ වුව ද දරුවන්ගේ කෑමෙන්‍ වැටෙන කැබෙලි අවුලා කති”යි උන් වහන්සේට කීවා ය.</verse>
				<verse number="29">උන් වහන්සේ ද කතා කරමින්, “මේ පිළිතුර නිසා ප්‍රීතියෙන් යන්න, දුෂ්ටාත්මය ඔබේ දුවගෙන් දුරු ව ගියේ ය”යි ඈට වදාළ සේක.</verse>
				<verse number="30">ඈ ගෙදර ගිය කල, ඇගේ දුව ඇඳේ හාන්සි වී සිටින බවත්, දුෂ්ටාත්මය දුරු වූ බවත් දුටුවා ය.</verse>
				<verse number="31">යළිත් උන් වහන්සේ තීර් පෙදෙසින් පිටත් ව, සීදොනය මැදින් ගොස්, දෙකපොලිස පෙදෙස පසු කොට ගලීල මුහුද ළඟට පැමිණි සේක.</verse>
				<verse number="32">එකල සෙනඟ වික්කල් බිහිරෙකු උන් වහන්සේ වෙත ගෙනවුත් ඔහු පිට අත තබන ලෙස උන් වහන්සේගෙන් උදක්ම ඉල්ලූ හ.</verse>
				<verse number="33">උන් වහන්සේ ඔහු සමූහයා කෙරෙන් වෙන් කොට ඉවතට ගෙන ගොස්, ඔහුගේ කන්වල උන් වහන්සේගේ ඇඟිලි බහා, කෙළ ගසා, ඔහුගේ දිව ස්පර්ශ කළ සේක.</verse>
				<verse number="34">ඉන්පසු ස්වර්ගය දෙස බලා, සුසුම් ලා, “එප්පාතා”යි ඔහුට වදාළ සේක. එහි අර්ථය, ‘ඇරේවා’ යනු යි.</verse>
				<verse number="35">එවිට ඔහුගේ කන් ඇරී, දිවේ බැඳුම ලිහී, ඔහු පැහැදිලි ලෙස කතා කෙළේ ය.</verse>
				<verse number="36">ඒ බව කිසිවෙකුට නොකියන්න උන් වහන්සේ ඔවුන්ට අණ දුන් සේක. එහෙත්, උන් වහන්සේ එය යම් පමණ තහනම් කළ සේක් ද, ඔව්හු එපමණටත් වඩා එය පතළ කළහ.</verse>
				<verse number="37">එය ඇසුවෝ අතිශයින් මවිත ව, “උන් වහන්සේ හැම දෙය ම යස ලෙස කරන සේක; බිහිරන්ට ඇසීම ද ගොළුවන්ට බිණීම ද පවා සලසා දෙන සේකැ”යි කී හ.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">ඒ දවස්වල දී නැවත මහත් සමූහයක් රැස් වූයෙන්, ඔවුන්ට කෑමට කිසිවක් නොතිබුණු නිසා උන් වහන්සේ සිය ශ්‍රාවකයන් කැඳවා,</verse>
				<verse number="2">“මේ සමූහයා ගැන මට ඉතා කණගාටු ය. ඔව්හු දැනට තුන් දිනක් මා සමඟ සිටිති. කෑමට කිසිවක් ඔවුන්ට නැත.</verse>
				<verse number="3">කුසගින්නෙන් ගෙදර යන්න හැරියොත්, ඔවුන් මඟ දී ක්ලාන්ත වනු ඇත, ඔවුන්ගෙන් සමහරෙක් දුර සිට ඇවිත් සිටිති”යි වදාළ සේක.</verse>
				<verse number="4">උන් වහන්සේගේ ශ්‍රාවකයෝ උත්තර දෙමින්, “මෙවැනි පාළුකරයක මොවුන්ට කොහොන් කෑම සපයා දෙන්න දැ”යි උන් වහන්සේගෙන් ඇසුවෝ ය.</verse>
				<verse number="5">“ඔබ ළඟ රොටි කීයක් තිබේ දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. “සතක්”යයි ඔව්හු කී හ.</verse>
				<verse number="6">එවිට උන් වහන්සේ සමූහයාට බිම ඉඳගන්න අණ දී, රොටි සත ගෙන තුති පුදා කඩා, ඒවා ඔවුන් ඉදිරියේ තබන පිණිස ශ්‍රාවකයන්ට දුන් සේක. ඔව්හු එය සමූහයා ඉදිරියේ තැබූ හ.</verse>
				<verse number="7">ඔවුන් ළඟ කුඩා මසුන් ස්වල්පයක් ද විය. උන් වහන්සේ ආශීර්වාදය පවසා, එය ද ඔවුන් ඉදිරියේ තබන්න අණ කළ සේක.</verse>
				<verse number="8">ඔව්හු ද කා තෘප්තියට පැමිණියාහ. ඉතිරි වූ කැබෙලි එක් කොට කූඩා සතක් පුරවාගත්හ.</verse>
				<verse number="9">එහි සෙනඟ හාරදහසක් පමණ වූ හ. උන් වහන්සේ ඔවුන් යන්න හැරිය සේක.</verse>
				<verse number="10">එකෙණෙහි ම උන් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ ඔරුවකට නැඟී දල්මනූතා පළාතට වැඩිය සේක.</verse>
				<verse number="11">එකල පරිසිවරු අවුත් උන් වහන්සේ වචනයකින් අල්ලාගන්න පිණිස ස්වර්ගයෙන් හාස්කමක් ඉල්ලා විවාදයට එළඹුණාහ.</verse>
				<verse number="12">උන් වහන්සේ හද පත්ලෙන් බලවත් ලෙස සුසුම් ලා, “මේ පරම්පරාව හාස්කමක් සොයන්නේ මන් ද? සැබැවින් ම මම ඔබට කියමි, මේ පරම්පරාවට හාස්කමක් නොදෙනු ලැබේ ය”යි වදාරා,</verse>
				<verse number="13">ඔවුන් අත්හැර යළිත් ඔරුවට නැඟී එතෙරට වැඩිය සේක.</verse>
				<verse number="14">රොටි ගෙන යන්න ශ්‍රාවකයන්ට අමතක විය. ඔරුවේ ඔවුන් ළඟ එක රොටියක් මිස වෙන කිසිවක් නො තිබිණි.</verse>
				<verse number="15">උන් වහන්සේ කතා කොට, “සිහි කල්පනාවෙන් යුතුව, පරිසිවරුන්ගේ මුහුන්වලින් ද හෙරොද්ගේ මුහුන්වලින් ද පරෙස්සම් වන්නැ”යි ඔවුන්ට අණ කළ සේක.</verse>
				<verse number="16">“එසේ කීවේ අප ළඟ රොටි නැති නිසා වන්න ඇතැ”යි ඔව්හු තම තමන් අතර කතා කරගත්හ.</verse>
				<verse number="17">ජේසුස් වහන්සේ එපවත් දැන, “රොටි නැති නිසා ඔබ අතරේ විවාද කරන්නේ මන් ද? ඔබට තව ම තේරුම් පැහැදුම් නැද් ද? ඔබේ සිතත් අඳුරු වී ඇද් ද?</verse>
				<verse number="18">ඇස් තිබියදීත් ඔබට පෙනෙන්නේ නැද් ද? කන් තිබියදීත් ඔබට ඇසෙන්නේ නැද් ද? ඔබට මතක නැද් ද?</verse>
				<verse number="19">මා රොටි පහ කඩා පන්දහසකට දුන් විට ඉතිරි කැබලිවලින් ඔබ කූඩා කීයක් පුරවා ගත්තහු දැ”යි ඇසූ සේක. “දොළොසකැ”යි ඔව්හු කී හ.</verse>
				<verse number="20">“රොටි සත හාරදහසක් අතර බෙදා දුන් විට කැබලිවලින් කූඩා කීයක් පුරවාගත්තහු දැ”යි ඇසූ සේක. “සතක්” යයි ඔව්හු කී හ.</verse>
				<verse number="21">“තවමත් ඔබට තේරුම් ගියේ නැද්දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක.</verse>
				<verse number="22">ඔව්හු බෙත්සයිදාවට පැමිණියහ. එවිට ඇතැමෙක් උන් වහන්සේ වෙත අන්ධයෙකු ගෙනවුත් ඔහු පිට අත් තබන මෙන්‍ ආයාචනා කළහ.</verse>
				<verse number="23">උන් වහන්සේ අන්ධයා අතින් අල්ලාගෙන ගමෙන් පිටතට ගෙන ගොස්, ඔහුගේ ඇස්වල කෙළ තවරා, ඔහු පිට අත් තබා, “ඔබට කිසිවක් පෙනේ දැ”යි ඇසූ සේක.</verse>
				<verse number="24">ඔහු ද ඇස් ඔසවා, “මිනිස්සු මට පෙනේ; ඔව්හු ගස් වාගේ ය; ඔවුන් ඇවිදිනු මට පෙනේ” යයි කී ය.</verse>
				<verse number="25">උන් වහන්සේ ඔහුගේ ඇස් පිට යළිත් අත් තැබූ සේක. එවිට ඔහු ඕනෑකමින් බැලී ය; පෙනුම ලැබී ය; සියල්ල පැහැදිලි ලෙස දිටී ය.</verse>
				<verse number="26">උන් වහන්සේ ඔහු ගෙදර පිටත් කර යවමින්, “ගමේ කිසිවෙකුට මේ ගැන නොකියන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="27">ජේසුස් වහන්සේ ද ශ්‍රාවකයෝ ද පිලිප්පි කායිසාරියේ ගම්වලට නික්ම ගියහ. මඟ දී උන් වහන්සේ, කතා කරමින්, “මා කවරෙකු කියා මිනිස්සු කියත් දැ”යි ශ්‍රාවකයන්ගෙන් ඇසූ සේක.</verse>
				<verse number="28">ඔව්හු උත්තර දෙමින්, “සමහරෙක්, ‘ස්නාවක ජොහන් ය’යි කියති; සමහරෙක්, ‘එලියා ය’යි කියති; අන් සමහරෙක්, ‘දිවැසිවරයන්ගෙන් කෙනෙකැ’යි කියති”යි පැවසූ හ.</verse>
				<verse number="29">“මා කවරෙකු කියා ඔබ කියන්නහු දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. “ඔබ ක්‍රිස්තුවරයාණෝ ය”යි පේදුරු පිළිතුරු දුන්නේ ය.</verse>
				<verse number="30">උන් වහන්සේ ද තමන් ගැන කිසිවෙකුට නොකියන ලෙස ඔවුන්ට අණ කළ සේක.</verse>
				<verse number="31">එවිට උන් වහන්සේ මනුෂ්‍ය-පුත්‍රයාණන් බොහෝ දුක් වේදනා විඳින්නටත්, ප්‍රජා මූලිකයන් ද නායක පූජකයන් ද විනයධරයන් ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නටත් මරනු ලබන්නටත්, තෙ දිනකට පසු නැවත නැඟිටින්නටත් නියම බව ඔවුන්ට උගන්වන්න පටන්ගත් සේක.</verse>
				<verse number="32">උන් වහන්සේ මේ ගැන ප්‍රසිද්ධියේ ම කතා කළ සේක. එකල පේදුරු උන් වහන්සේ පසෙකට ගෙන, උන් වහන්සේට තදින් චෝදනා කෙළේ ය.</verse>
				<verse number="33">උන් වහන්සේ හැරී, සිය ශ්‍රාවකයන් දෙස බලා, පේදුරුට තදින් චෝදනා කරමින්, “සාතන්, අහකට යව, නුඹ සිතන්නේ, මිනිසුන් සිතන විධියට මිස දෙවියන් වහන්සේ සිතන විධියට නොවේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="34">එවිට උන් වහන්සේ සිය ශ්‍රාවකයන් කැටුව සමූහයා තමන් වෙත කැඳවා ඔවුන් අමතා මෙසේ වදාළ සේක: “යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තමකම නසා කුරුසිය දරා, මා අනුව ඒ වා!</verse>
				<verse number="35">සිය ජීවිතය රැකගන්න තැත් කරන යමෙක් වේ ද ඔහු එය නැති කරගනියි. මා උදෙසාත්, සුබ අස්න උදෙසාත් සිය ජීවිතය පුදන යමෙක් වේ ද, ඔහු එය රැකගනියි.</verse>
				<verse number="36">යමෙක් මුළු ලෝකය ම ලබාගත්තත්, සිය ජීවිතය නැති කරගත්තොත් ඔහුට කිනම් ප්‍රයෝජනයක් ද?</verse>
				<verse number="37">නොහොත් යමෙකුට සිය දිවි වෙනුවට කුමක් දිය හැකි ද?</verse>
				<verse number="38">එසේ හෙයින් මේ දේව ද්‍රෝහි, පාපිෂ්ඨ පරම්පරාවේ දී යම් කෙනෙක් මා ගැනත්, මාගේ ධර්මය ගැනත් ලජ්ජා වන්නේ ද, මනුෂ්‍ය-පුත්‍රයාණන් පියාණන්ගේ තේජශ්‍රීයෙන් ශුද්ධ දූතයන් පිරිවරා වඩිනා කල උන් වහන්සේ ඔහු ගැනත් ලජ්ජා වනු ඇත.”</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">තවද, උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “සැබැවින් ම මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යය බලපරාක්‍රම සහිත ව පහළ වූ බව දකින්න පෙර, මෙහි සිටින්නන්ගෙන් ඇතැමෙක් කිසි සේත් මරණයට පත් නොවන්නාහ”යි වදාළ සේක.</verse>
				<verse number="2">සදවසකට පසු ජේසුස් වහන්සේ පේදුරු ද ජාකොබ් ද ජොහන් ද වෙන් කොට ගෙන, ඔවුන් තමන් සමඟ උස් කන්දකට ගෙන ගිය සේක. උන් වහන්සේ ඔවුන් ඉදිරියෙහි අන් වෙසක් වූ සේක.</verse>
				<verse number="3">මිහි පිට කිසිවෙකුටවත් සෝදා සුදු කළ නොහැකි තරම් ධවල දීප්තියකින් උන් වහන්සේගේ වස්ත්‍ර බැබළිණි.</verse>
				<verse number="4">එවිට එලියා ද මෝසෙස් ද ඔවුන්ට දර්ශනය වූ හ. ඔව්හු ජේසුස් වහන්සේ සමඟ කතා කරමින් සිටියහ.</verse>
				<verse number="5">එවිට පේදුරු ජේසුස් වහන්සේට කතා කොට, “ගුරුදේවයෙනි, අපට මෙහි සිටින්න ලැබීම මහත් වාසනාවකි. අපි මණ්ඩප තුනක්, එකක් ඔබටත්, එකක් මෝසෙස්ටත්, එකක් එලියාටත් සාදමු”යි කී ය.</verse>
				<verse number="6">ඔවුන් මහා භීතියකින් ඇලළී ගියෙන්, කුමක් කියන්න දැ යි ඔහු නොදැන සිටියේ ය.</verse>
				<verse number="7">තවද වලාකුළක් නැඟී ඔවුන් සිසාරා පැතිරිණි. එවිට, “මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; මොහුට සවන් දෙන්නැ”යි වලාකුළෙන් හඬක් නික්මිණි.</verse>
				<verse number="8">හදිසියෙන් අවට බැලූ විට, ඔව්හු තමන් සමඟ ජේසුස් වහන්සේ හැර අන් කිසිවෙකු නුදුටුවෝ ය.</verse>
				<verse number="9">ඔවුන් කන්දෙන් බසින කල, මනුෂ්‍ය-පුත්‍රයාණන් මළවුන්ගෙන් උත්ථාන වන තුරු තමන් දුටු දේ කිසිවෙකුට නොකියන ලෙස උන් වහන්සේ ඔවුන්ට අණ කළ සේක.</verse>
				<verse number="10">එබැවින් ඔවුන් මේ නියමය තදින් සිතට ගත් නමුත්, ඔව්හු, “මළවුන්ගෙන් උත්ථාන වීම යනු කුමක් දැ”යි ඔවුනොවුන් අතර විමසමින් සිටියහ.</verse>
				<verse number="11">තවද ඔව්හු කතා කොට, “පළමුවෙන් එලියා ආ යුතු ය යි විනයධරයන් කියන්නේ මන්දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.</verse>
				<verse number="12">උන් වහන්සේ කතා කොට, “එසේ ය, එලියා පළමුවෙන් පැමිණ සියල්ල නිසි ලෙස පිළියෙළ කරනු ඇත. මනුෂ්‍ය-පුත්‍රයාණන් බොහෝ දුක් වේදනා විඳින්ටත්, නිග්‍රහ ලබන්නත් යුතු ය යි ඔහු ගැන සඳහන් ව තිබෙන්නේ කෙසේ ද?</verse>
				<verse number="13">එහෙත් මම ඔබට කියමි, එලියා දැනට ම පැමිණ ඇත, ඔහු ගැන ශුද්ධ ලියවිල්ලේ කියා ඇති පරිදි ඔව්හු තමන් රිසි දේ ඔහුට කළහ”යි වදාළ සේක.</verse>
				<verse number="14">ඔව්හු ශ්‍රාවකයන් වෙත ආ කල ඔවුන් වටකරගෙන මහත් සමූහයක් සිටිනවාත්, විනයධරයන් ඔවුන් සමඟ විවාද කරනවාත් දුටුවෝ ය.</verse>
				<verse number="15">එකෙණෙහි ම මුළු සමූහයා උන් වහන්සේ දැක ඉතා විස්මිත ව, උන් වහන්සේ සමීපයට දිව ගොස් ආචාර කළහ.</verse>
				<verse number="16">“ඔබ ඔවුන් සමඟ කුමක් ගැන වාද කරන්නහු දැ”යි උන් වහන්සේ විනයධරයන්ගෙන් ඇසූ සේක.</verse>
				<verse number="17">සමූහයාගෙන් එක් කෙනෙක් උන් වහන්සේට උත්තර දෙමින්, “ගුරුදේවයෙනි, මාගේ පුත්‍රයා ඔබ වෙතට ගෙනාවෙමි; ඔහුට ගොළු ආත්මයක් ආවේශ වී ඇත.</verse>
				<verse number="18">ඒ ආත්මය ඔහු මැඩලන කොතැනක දී වුව ද ඔහු බිම හෙළයි. එවිට ඔහු කටින් පෙණ දමයි; දත්මිටි කයි; දරදඬු වෙයි. මේ ආත්මය දුරු කරන ලෙස මම ඔබේ ශ්‍රාවකයන්ගෙන් ඉල්ලුවෙමි. එහෙත් ඔවුන්ට එය කළ නොහැකි වී ය”යි කී ය.</verse>
				<verse number="19">උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “අහෝ! ඇදහිලි හීන පරම්පරාව, මා කොපමණ කල් ඔබ සමඟ සිටින්න ද? කොපමණ කල් ඔබ ගැන ඉවසන්න ද? ඔහු මා වෙත ගෙනෙන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="20">ඔව්හු උන් වහන්සේ වෙතට ළමයා ගෙනාහ. උන් වහන්සේ දුටු කෙණෙහි ම ඒ ආත්මය ඔහු තදින් සලිත කරලී ය. ඔහු ද බිම වැටී පෙරළි පෙරළී කටින් පෙණ දමන්න වන.</verse>
				<verse number="21">“මොහුට මෙය සිදු වී කොපමණ කල් දැ”යි උන් වහන්සේ පියාගෙන් ඇසූ සේක. ඔහු උත්තර දෙමින්, “ළමා වයසේ පටන් ය,</verse>
				<verse number="22">තවද, ඒ ආත්මය ඔහු විනාශ කරන පිණිස වරින් වර ගින්නෙහි ද වතුරෙහි ද හෙළයි. ඔබට යමක් කළ හැකි නම්, අපට අනුකම්පා කොට පිහිට වුව මැනවැ”යි කී ය.</verse>
				<verse number="23">ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ඔබට හැකි නම්, කියා ඔබ කීවෙහි ද? අදහන්නාට සියල්ල හැකි ය”යි වදාළ සේක.</verse>
				<verse number="24">එකෙණෙහි ම දරුවාගේ පියා, “මම අදහමි, මාගේ ඇදහිල්ල මදිකම ගැන පිහිටවුව මැනවැ”යි මොරගා කීවේ ය.</verse>
				<verse number="25">සමූහයා එක් ව දුවගෙන එන බව ජේසුස් වහන්සේ දුටු කල උන් වහන්සේ අශුද්ධාත්මයට තරවටු කොට, “ගොළු බිහිරි ආත්මය, මොහු කෙරෙන් දුරු වෙව, තවත් මොහුට ආවේශ නොවන්නට තට අණ දෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="26">එවිට දුෂ්ට ආත්මය මොරගසා ඔහු බොහෝ සේ සලිත කොට පිටතට ආවේ ය. ළමයා ද මළකඳක් මෙන්‍ විය. ඒ නිසා වැඩි දෙනා “ඔහු මැරිලා ය”යි කී හ.</verse>
				<verse number="27">එහෙත් ජේසුස් වහන්සේ ඔහු අතින් අල්ලා එසෙවූ සේක. ඔහු සිටගත්තේ ය.</verse>
				<verse number="28">උන් වහන්සේ ගෙට පිවිසි කල ශ්‍රාවකයෝ කතා කොට, “ඒ ආත්මය දුරු කරන්න අපට නොහැකි වූයේ මන්දැ”යි උන් වහන්සේගෙන් රහසින් විචාළහ.</verse>
				<verse number="29">උන් වහන්සේ ද “යාච්ඤාවෙන් මිස අන් මඟකින් මෙවැනි ආත්ම දුරු කළ නොහැකි ය”යි ඔවුන්ට වදාළ සේක.</verse>
				<verse number="30">ඔව්හු එතැනින් නික්ම ගලීලය මැදින් ගියහ. ඒ බව කිසිවෙකු දැනගැනීම උන් වහන්සේගේ කැමැත්ත නො වී ය.</verse>
				<verse number="31">කුමක්නිසා ද, උන් වහන්සේ, “මනුෂ්‍ය-පුත්‍රයාණෝ මිනිසුන් අතට පාවා දෙනු ලබති; ඔව්හු එතුමාණන් මරන්නෝ ය. මරනු ලැබූ පසු එතුමාණෝ තෙ දිනකින් නැවත නැඟිටින්නාහ”යි ශ්‍රාවකයන්ට ඉගැන්වූ බැවිනි.</verse>
				<verse number="32">එහෙත් ඒ කීම ඔවුන්ට අවබෝධ නො වී ය. උන් වහන්සේගෙන් අසන්නටත් ඔව්හු බිය වූ හ.</verse>
				<verse number="33">ඔව්හු කපර්ණවුමට පැමිණියහ. උන් වහන්සේ ගෙයි සිටි කල, “ඔබ මඟ දී කුමක් ගැන විවාද කළහු දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක.</verse>
				<verse number="34">එහෙත් ඔව්හු නිහඬ වූ හ. මන්ද, වඩා උසස් කවරෙක් දැ යි මඟ දී තම තමන් අතර ඔවුන් විවාද කළ බැවිනි.</verse>
				<verse number="35">එකල උන් වහන්සේ වැඩහිඳ දොළොස් දෙනා කැඳවා, “ප්‍රථමයා වන්න කැමැත්තේ හැමට ම අන්තිමයාත්, හැමගේ සේවකයාත් විය යුතු ය”යි ඔවුන්ට වදාළ සේක.</verse>
				<verse number="36">උන් වහන්සේ කුඩා දරුවෙකු ගෙන ඔවුන් මැද සිටුවා ඔහු තුරුල් කරගෙන,</verse>
				<verse number="37">“මෙබඳු කුඩා දරුවන්ගෙන් එකෙකු මාගේ නාමයෙන් පිළිගන්නා, මා පිළිගන්නේ ය. මා පිළිගන්නා, පිළිගන්නේ මා නොව, මා එවා වදාළ තැනැන් වහන්සේ ය”යි ඔවුන්ට වදාළ සේක.</verse>
				<verse number="38">ජොහන් උන් වහන්සේට කතා කොට, “ගුරුදේවයෙනි, අප අනුගමනය නොකරන කෙනෙකු ඔබේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරු කරනු දුටිමු; ඔහු අප අනුගමනය නොකරන නිසා අපි ඔහුට එය තහනම් කෙළෙමු”යි කීවේ ය.</verse>
				<verse number="39">එහෙත් ජේසුස් වහන්සේ “තහනම් නොකරන්න. මාගේ නාමයෙන් ප්‍රබල ක්‍රියාවක් කරන කවරෙකුටවත් ඒ හුස්මෙන්‍ ම මා ගැන අපවාදයක් කරන්න නොහැකි ය.</verse>
				<verse number="40">අපට විපක්ෂ නොවන්නා අපේ පක්ෂයෙහි ය.</verse>
				<verse number="41">ඔබ ක්‍රිස්තුන් වහන්සේට අයිති බැවින් ඒ නාමයෙන් යමෙක් ඔබට වතුර කෝප්පයක් වුව ද බොන්න දෙන්නේ නම්, එහි ආනිශංසය ඔහුගෙන් කිසි සේත් නැති නොවන්නේ යයි සැබැවින් ම මම ඔබට කියමි”යි වදාළ සේක.</verse>
				<verse number="42">“තවද, උන් වහන්සේ කතා කරමින් මා කෙරෙහි අදහාගත් මේ බාලයන්ගෙන් එකෙකු වත් නොමඟ යවන යම් කෙනෙක් ඇද්ද, ඔහුගේ ගෙල වටා මහා ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ හෙළාදැමීම ඔහුට යහපත.</verse>
				<verse number="43">ඔබේ වැටීමට හේතුව ඔබේ අත නම් එය කපා දමන්න. දෑත ඇතිව අපායෙහි නොනිවෙන ගින්නට යාමට වඩා අබ්බාගාත ව ජීවනයට ඇතුළුවීම ඔබට යහපත.</verse>
				<verse number="44">අපායේ දී ඔවුන් කාදමන පණුවා නොනසියි. ඔවුන් දවාලන ගින්න නොනිවෙයි.</verse>
				<verse number="45">ඔබේ වැටීමට හේතුව ඔබේ පාදය නම් එය කපා දමන්න. දෙපා ඇතිව අපායට හෙළනු ලැබීමට වඩා කොර ව ජීවනයට ඇතුළුවීම ඔබට යහපත.</verse>
				<verse number="46">අපායේ දී ඔවුන් කාදමන පණුවා නොනසියි. ඔවුන් දවාලන ගින්න ද නොනිවෙයි.</verse>
				<verse number="47">ඔබේ වැටීමට හේතුව ඔබේ ඇස නම් එය උපුටා දමන්න. දෑස ඇතිව අපායේ හෙළනු ලැබීමට වඩා එක ඇසක් ඇතිව දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීම ඔබට යහපත.</verse>
				<verse number="48">අපායේ දී ඔවුන් කාදමන පණුවා නොනසියි, ඔවුන් දවාලන ගින්න ද නොනිවෙයි.</verse>
				<verse number="49">ලුණෙන් පවිත්‍රවීම ඇති වන සේ, සියල්ලෝ ම ගින්නෙන් පවිත්‍ර කරනු ලබති.</verse>
				<verse number="50">ලුණු හොඳ ය. එහෙත් ලුණෙහි ලුණු ගතිය නැති වුවහොත්, එයට ලුණු රස කවන්නේ කුමකින් ද? ඔබ තුළ සුහදතාව නමැති ලුණු ගතිය ඇතිව එකිනෙකා සමඟ සාමකාමී ව සිටින්නැ”යි වදාළ සේක.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">උන් වහන්සේ එතැනින් නික්ම ජුදයට සහ ජොර්දානෙන් එගොඩ පළාත්වලට පැමිණි සේක. යළිත් සමූහයෝ උන් වහන්සේ වෙත රැස් වූ හ. උන් වහන්සේ සිරිත් පරිදි ඔවුන්ට ඉගැන්වූ සේක.</verse>
				<verse number="2">පරිසිවරු අවුත් උන් වහන්සේ වචනයකින් අල්ලාගනු පිණිස, “පුරුෂයෙකු විසින් සිය භාර්යාව දික්කසාද කිරීම නීතියට අනුකූල දැ”යි උන් වහන්සේගෙන් ප්‍රශ්න කළහ.</verse>
				<verse number="3">උන් වහන්සේ උත්තර දෙමින්, “මෝසෙස් ඔබට කුමක් අණ කෙළේ දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක.</verse>
				<verse number="4">“දික්කසාද සහතිකයක් ලියා ඇය අත්හැර දමන්න මෝසෙස් අවසර දුන්නේ ය”යි ඔව්හු කී හ.</verse>
				<verse number="5">එහෙත්, ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඔහු මේ ආඥා පැණවූයේ, ඔබේ සිත් දැඩිකම නිසා ය.</verse>
				<verse number="6">එහෙත්, මැවීමේ මුල සිට ම දෙවියන් වහන්සේ ඔවුන් ස්ත්‍රී-පුරුෂ වශයෙන් මැවූ සේක.</verse>
				<verse number="7">ඒ හේතුකොට ගෙන මිනිසෙක් තම පියා ද මව ද අතහැර සිය භාර්යාවට ඇලුම් වන්නේ ය.</verse>
				<verse number="8">ඒ යුවළ ද එක ම මාංසයක් වෙති. මෙසේ ඔව්හු එවක් පටන් දෙදෙනෙක් නොව එක් කෙනෙක් වන්නෝ ය.</verse>
				<verse number="9">එබැවින් දෙවියන් වහන්සේ එක්කළ අය මනුෂ්‍යයා වෙන් නොකෙරේ වා!”යි වදාළ සේක.</verse>
				<verse number="10">ශ්‍රාවකයෝ ගෙදර දී මේ කාරණය ගැන යළිත් උන් වහන්සේගෙන් ඇසූ හ.</verse>
				<verse number="11">උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “සිය භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියක පාවාගන්න කවරෙකු නමුත් ඔහු ඈට විරුද්ධ ව කාමමිථ්‍යාචාරය කරයි.</verse>
				<verse number="12">ස්ත්‍රියක් ඇගේ පුරුෂයා අත්හැර වෙන කෙනෙකු සරණ පාවා ගන්නී නම්, ඈ ද කාමමිථ්‍යාචාරය කරන්නී ය”යි වදාළ සේක.</verse>
				<verse number="13">සමහරු තමන්ගේ ළදරුවන් පිට ජේසුස් වහන්සේගේ අත් තබවා ගන්නා පිණිස, උන් වහන්සේ වෙත ඔවුන් ගෙනාහ. එවිට ශ්‍රාවකයෝ ඔවුන්ට තරවටු කළහ.</verse>
				<verse number="14">ජේසුස් වහන්සේ ඒ දැක ඉතා අමනාප වී, “ළදරුවන්ට මා වෙත එන්න ඉඩ හරින්න; ඔවුන් නොවළක්වන්න. දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙබඳු අය සන්තක ය.</verse>
				<verse number="15">සැබැවින් ම මම ඔබට කියමි, යම් කෙනෙකු දෙවියන් වහන්සේගේ රාජ්‍යය ළදරුවෙකු සේ නොපිළිගත්තොත්, ඔහු කිසි සේත් එහි ඇතුළු නොවන්නේ ය”යි ඔවුන්ට වදාළ සේක.</verse>
				<verse number="16">උන් වහන්සේ ඔවුන් තුරුළු කරගෙන ඔවුන් පිට අත් තබා ඔවුන්ට ආශීර්වාද කළ සේක.</verse>
				<verse number="17">උන් වහන්සේ මඟ බැස ගමන් ගනිත් ම එක් මිනිසෙක් දිව අවුත් උන් වහන්සේ ඉදිරියෙහි දණින් වැටී, “යහපත් ගුරුදේවයෙනි, සදාතන ජීවනය උරුම කරගන්නා පිණිස මා කුමක් කළ යුතු දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය.</verse>
				<verse number="18">ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, “මා යහපත් යයි ඔබ කියන්නේ මන් ද? හුදෙක් දෙවියන් වහන්සේ මිස අන් කිසිවෙක් යහපත් නොවේ.</verse>
				<verse number="19">ඔබ ආඥා දන්නෙහි ය. මිනී නොමරන්න; කාමමිථ්‍යාචාරය නොකරන්න; සොරකම් නොකරන්න; බොරු සාක්ෂි නොකියන්න; වංචා නොකරන්න; නුඹේ පියාටත්, මවටත් ගෞරව කරන්න යනු”යි වදාළ සේක.</verse>
				<verse number="20">ඔහු ද උත්තර දෙමින්, “ගුරුදේවයෙනි, මම මේ සියල්ලක් ම යොවුන් වියේ සිට රක්ෂා කෙළෙමි”යි උන් වහන්සේට කීවේ ය.</verse>
				<verse number="21">ජේසුස් වහන්සේ ඔහු දෙස බලා, ඔහු කෙරෙහි මෙත් සිත් වඩා, “ඔබට එක අඩු පාඩුවක් ඇත; යන්න, ඔබ සතු සියල්ල විකුණන්න; විකුණා දිළිඳුන්ට දෙන්න; ස්වර්ගයෙහි ඔබට සම්පත් ඇති වන්නේ ය. එන්න, මා අනුගාමී වන්නැ”යි ඔහුට වදාළ සේක.</verse>
				<verse number="22">එහෙත් ඔහු ඒ කීම නිසා මලානික වී, දොම්නසින් පිරී එතැනින් නික්ම ගියේ ය. එසේ කෙළේ, ඔහුට වස්තු සම්භාරයක් තිබුණු බැවිනි.</verse>
				<verse number="23">එවිට ජේසුස් වහන්සේ අවට බලා, “ධනවතුන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීම කොතරම් දුෂ්කර දැ”යි ශ්‍රාවකයන්ට වදාළ සේක.</verse>
				<verse number="24">ශ්‍රාවකයෝ ද ඒ අසා විස්මයට පත්වූ හ. ජේසුස් වහන්සේ නැවතත් මෙසේ වදාළ සේක; “දරුවෙනි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීම කොතරම් දුෂ්කර ද?</verse>
				<verse number="25">ධනවතෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීමට වඩා ඔටුවෙකුට ඉදිකටු මලින් රිංගා යාම පහසු ය.”</verse>
				<verse number="26">ඔව්හු අතිශයින් මවිත වී, “එසේ නම් ගැළවීම ලැබිය හැක්කේ කවරෙකුට දැ”යි ඔවුනොවුන් අතර කියාගත්හ.</verse>
				<verse number="27">ජේසුස් වහන්සේ ඔවුන් දෙස බලා, “මිනිසුන්ට නම් එය කළ නොහැකි ය. දෙවියන් වහන්සේට එසේ නොවේ; දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි ය”යි වදාළ සේක.</verse>
				<verse number="28">පේදුරු කතා කරමින්, “බලන්න, අපි සියල්ලම අත්හැර දමා ඔබ අනුව ආවෙමු”යි කී ය.</verse>
				<verse number="29">ජේසුස් වහන්සේ ද, “සැබැවින් ම මම ඔබට කියමි; මා නිසා ද සුබ අස්න නිසා ද, ගේදොර හෝ සොහොයුරන් හෝ සොහොයුරියන් හෝ මව හෝ පියා හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හළ කවරෙකු වුව ද,</verse>
				<verse number="30">ඔහු දැන් මේ කාලයේ දී ම සිය ගුණයක් ගේදොර ද සොහොයුරන් ද සොහොයුරියන් ද මවුවරුන් ද දරුවන් ද ගම්බිම් ද ඒ සමඟ පීඩා ද, එන යුගයේ දී සදාතන ජීවනය ද නොලබා නොසිටින්නෝ ය.</verse>
				<verse number="31">එහෙත් ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝ ද අන්තිමයෝ ප්‍රථමයෝ ද වන්නෝ ය”යි වදාළ සේක.</verse>
				<verse number="32">ජේසුස් වහන්සේ සහ ශ්‍රාවකයෝ ජෙරුසලමට යන මාර්ගයෙහි යමින් සිටියහ. ජේසුස් වහන්සේ විස්මිතව සිටි ශ්‍රාවකයින්ට පෙරටුව වැඩිය සේක. පසුපස්සේ ගිය සෙනඟ භීත වී සිටියහ. උන් වහන්සේ යළිත් දොළොස් දෙනා කැඳවා තමන් වහන්සේට සිදු වන්න යන දේ කියන්න පටන්ගෙන,</verse>
				<verse number="33">“බලන්න, අපි ජෙරුසලමට යම්හ. මනුෂ්‍ය-පුත්‍රයාණෝ නායක පූජකවරුන්ටත්, විනයධරයන්ටත් පාවා දෙනු ලබති. ඔව්හු එතුමාණන් මරණයට නියම කොට විජාතීන්ට පාවා දෙන්නෝ ය.</verse>
				<verse number="34">ඔව්හු එතුමාණන්ට නින්දා කොට, කෙළ ගසා, කසවලින් තළා මරණයට පත් කරන්නෝ ය. තෙ දිනකට පසු එතුමාණෝ උත්ථාන වන සේකැ”යි වදාළ සේක.</verse>
				<verse number="35">සෙබදීගේ පුත් ජාකොබ් ද ජොහන් ද උන් වහන්සේ වෙත අවුත්, “ගුරුදේවයෙනි, අප ඉල්ලන දේ ඔබ අපට ඉටුකර දෙන සේක් නම් අපි කැමැත්තෙමු”යි කී හ.</verse>
				<verse number="36">“මා ඔබට කුමක් කර දෙනවාට ඔබ කැමැත්තහු දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක.</verse>
				<verse number="37">“ඔබගේ තේජශ්‍රීයෙහි දී, අපෙන් එක් කෙනෙකුට ඔබගේ දකුණු පස ද, එක් කෙනෙකුට වම් පස ද හිඳගන්නට වර දුන මැනවැ”යි ඔව්හු උන් වහන්සේට කී හ.</verse>
				<verse number="38">එහෙත් ජේසුස් වහන්සේ, “ඔබ ඉල්ලන්නේ කුමක් දැ යි ඔබ ම නොදන්නහු ය. මා බොන දුක් වේදනා නමැති කුසලානෙන් බොන්න හෝ මා ලබන බව්තීස්ම-ස්නාපනය ලබන්නට හෝ ඔබට හැකි දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක.</verse>
				<verse number="39">“අපට හැකිය”යි ඔව්හු උන් වහන්සේට කී හ. ජේසුස් වහන්සේ ද, “මා බොන කුසලානෙන් ඔබත් බොනු ඇත. මා ලබන බව්තීස්ම-ස්නාපනයෙන් ඔබත් බව්තීස්ම-ස්නාපනය ලබනු ඇත.</verse>
				<verse number="40">එහෙත්, මාගේ දකුණු පස ද වම් පස ද ඉඳගන්න දීම මා සතු දෙයක් නොවේ. යම් අය සඳහා එය නියම කර ඇද්ද, එය අයිතිවන්නේ ඔවුන්ට ය”යි වදාළ සේක.</verse>
				<verse number="41">එවිට අනික් දස දෙනා ඒ අසා ජාකොබ් සහ ජොහන් සමඟ අතිශයින් කෝප වූ හ.</verse>
				<verse number="42">ජේසුස් වහන්සේ ඔවුන් තමන් වෙතට කැඳවා මෙසේ වදාළ සේක: “විජාතීන් අතර ආණ්ඩුකාරයන් වශයෙන් සම්මත වූවන් ඔවුන් කෙරේ ආධිපත්‍යය පවත්වන බවත්, ඔවුන්ගේ ප්‍රධානීන් ඔවුන් කෙරෙහි බලය පාන බවත් ඔබ දන්නහු ය.</verse>
				<verse number="43">එහෙත්, ඔබ අතර එසේ නොවේ. ඔබ අතර ප්‍රධානියා වන්න කැමැති යමෙක් ඇද්ද, ඔහු ඔබේ සේවකයා විය යුතු ය.</verse>
				<verse number="44">ඔබ අතර ස්වාමියා වන්න කැමැති යමෙක් ඇද්ද, ඔහු සියල්ලන්ගේ දාසයා විය යුතු ය.</verse>
				<verse number="45">කුමක් හෙයින් ද මනුෂ්‍ය-පුත්‍රයාණන් වුව ද වැඩියේ, සේවය ලැබීමට නොව සේවය කිරීමට ය; බොහෝ දෙනා උදෙසා මිදීමේ මිලයක් වී සිය දිවි පිදීමට ය.”</verse>
				<verse number="46">ඔව්හු ජෙරිකෝවට පැමිණියෝ ය. උන් වහන්සේ සිය ශ්‍රාවකයන් හා මහා සමූහයක් ද සමඟ ජෙරිකෝවෙන් නික්ම යන කල, තිමේයස්ගේ පුත් බර්තිමේයස් නම් අන්ධ හිඟන්නෙක් පාර අද්දර වාඩි වී සිටියේ ය.</verse>
				<verse number="47">“මේ වඩින්නේ නාසරෙත්හි ජේසුස් වහන්සේ ය”යි අසා, “දාවිත්ගේ පුත් ජේසුස් වහන්ස, මට අනුකම්පා කළ මැනවැ”යි ඔහු මොරගසන්න විය.</verse>
				<verse number="48">නිහඬ වන ලෙස බොහෝ දෙනෙක් ඔහුට තරවටු කළහ. එහෙත් ඔහු, “දාවිත්ගේ පුත්‍රයාණෙනි, මට අනුකම්පා කළ මැනවැ”යි වැඩි වැඩියෙන් මොරගැසී ය.</verse>
				<verse number="49">ජේසුස් වහන්සේ නැවතී, “ඔහුට හඬගසන්නැ”යි වදාළ සේක. ඔව්හු අන්ධයාට හඬගසා, “ධෛර්ය ගන්න, නැඟිටින්න, එතුමාණෝ ඔබ කැඳවන සේකැ”යි කී හ.</verse>
				<verse number="50">ඔහු එවිට තමාගේ සළුව ගසාදමා, පැන නැඟී ජේසුස් වහන්සේ වෙතට ආවේ ය.</verse>
				<verse number="51">ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, “මා ඔබට කුමක් කර දෙනවාට ඔබ කැමැති දැ”යි ඔහුගෙන් ඇසූ සේක. “ගුරුදේවයෙනි, මට පෙනීම දුන මැනවැ”යි අන්ධයා උන් වහන්සේට කී ය.</verse>
				<verse number="52">ජේසුස් වහන්සේ ද, “යන්න, ඔබේ ඇදහිල්ල ඔබට සුවසම්පත ලබා දී ඇතැ”යි ඔහුට වදාළ සේක. ඒ ඇසිල්ලෙහි ම ඔහු පෙනීම ලබා මඟ දිගේ උන් වහන්සේ පසුපස්සේ ගියේ ය.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">ඔව්හු ජෙරුසලමට ළං ව ඔලීව කන්දට නුදුරු බෙත්පාගයට හා බෙතානියට පැමිණියහ. උන් වහන්සේ සිය ශ්‍රාවකයන් දෙදෙනෙකු යවමින්,</verse>
				<verse number="2">“ඔබ ඉදිරියේ ඇති ගමට යන්න; ගිය කෙණෙහි ම කිසිවෙකු කිසි කලක නොනැඟුණු, බැඳ සිටින කොටළු නාම්බෙකු ඔබට සම්බ වනු ඇත; ඌ ලිහා මෙහි ගෙනෙන්න.</verse>
				<verse number="3">‘ඔබ මෙය කරන්නේ මන්දැ’යි යමෙකු ඇසුවොත්, ‘සමිඳාණන් වහන්සේ හට උගෙන් වැඩක් ඇත; නොපමාව ඌ ආපසු එවනු ඇතැ’යි ඔවුන්ට කියන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="4">ඔව්හු ගොස්, දොර ළඟ පිටත වීදියෙහි දිගේලි කොට සිටි කොටළු නාම්බෙකු දැක ඌ ලිහුවෝ ය.</verse>
				<verse number="5">එහි සිටි අයගෙන් ඇතැමෙක් කතා කොට, “කොටළු නාම්බා ලිහන්නේ මන්දැ”යි ඇසූහ.</verse>
				<verse number="6">ජේසුස් වහන්සේ වදාළ ලෙසම ඔව්හු ඔවුන්ට පිළිතුරු දුන්හ. එවිට ඔව්හු ඔවුන්ට ඉඩ දුන්නෝ ය.</verse>
				<verse number="7">ඔව්හු කොටළු නාම්බා ජේසුස් වහන්සේ වෙතට ගෙනවුත් තමන්ගේ උතුරු සළු ඌ පිට එළාලූ හ. උන් වහන්සේ ද ඌ පිට හිඳගත් සේක.</verse>
				<verse number="8">එවිට බොහෝ දෙනෙක් තමන්ගේ සළු ද, අන් අය වතුපිටිවලින් කපා ගත් කොළ අතු ද මඟ අතුළෝ ය.</verse>
				<verse number="9">පෙරටුවෙන් හා පිටුපසින් ගිය අය “හෝසන්නා! සමිඳුන් නමින් වඩිනා මෙතුමාණන් හට ආසිරි වේ වා!,</verse>
				<verse number="10">අපේ පිය වූ දාවිත්ගේ මතු පැමිණෙන රාජ්‍යයට ආසිරි වේ වා!, අති උසස් තැන්හි හෝසන්නා!” කියා මොරගැසූහ.</verse>
				<verse number="11">ජේසුස් වහන්සේ ජෙරුසලමට පැමිණ දේව මාලිගාවට ඇතුළු ව අවට සියල්ල නරඹා, සවස් වූ බැවින් දොළොස් දෙනා සමඟ බෙතානිය බලා නික්ම ගිය සේක.</verse>
				<verse number="12">පසු දා ඔවුන් බෙතානියෙන් නික්ම ගිය කල උන් වහන්සේට බඩගිනි විය.</verse>
				<verse number="13">උන් වහන්සේ කොළ ඇති අත්තික්කා ගසක් දුර දී දැක, ඉන් යමක් ලැබේ දෝ යි සිතමින් එහි වැඩිය සේක. ගස ළඟට පැමිණි කල, කොළ මිස අන් කිසිවක් සම්බ නො වී ය. ඒ අත්තික්කා වාරය නුවූ බැවිනි.</verse>
				<verse number="14">උන් වහන්සේ, “මෙවක් පටන් සදහට ම කිසිවෙක් කිසි කලෙක තාගෙන් පල අනුභව නොකරත්වා”යි ගසට වදාළ සේක. එය උන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ඇසිණි.</verse>
				<verse number="15">ඔව්හු ජෙරුසලමට පැමිණියෝ ය. උන් වහන්සේ දේව මාලිගාවට පිවිස එහි වෙළහෙළඳාම් කළවුන් පිටතට පලවා හරින්න පටන්ගෙන, මුදල් මාරු කරන්නන්ගේ මේස ද පරෙවි වෙළෙඳුන්ගේ ආසන ද පෙරළා දමා,</verse>
				<verse number="16">දේව මාලිගාව මැදින් කිසිදු දෙයක් ගෙන යන්න කිසිවෙකුට ඉඩ නුදුන් සේක.</verse>
				<verse number="17">උන් වහන්සේ ඔවුන්ට උගන්වමින්, “ ‘මාගේ ගෘහය සියලු ජාතීන්ට යාච්ඤාවේ ගෘහයකැ’යි කියනු ලබන බව ලියා නැද් ද? එහෙත් ඔබ එය හොරුන්ගේ ගුහාවක් කර ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="18">නායක පූජකවරු ද විනයධරයෝ ද ඒ අසා උන් වහන්සේ නසාදැමීමට මඟක් සෙවූ හ. මන්ද, උන් වහන්සේගේ අනුශාසනා ගැන මුළු සමූහයා විස්මිත වූ බැවින් ඔව්හු උන් වහන්සේට බිය වූ හ.</verse>
				<verse number="19">සවස් වූ විට උන් වහන්සේ නුවරින් නික්ම ගිය සේක.</verse>
				<verse number="20">ඔව්හු පසු දා උදේ යද්දී, අත්තික්කා ගස; මුල පටන් වියළී තිබෙනු දුටුවෝ ය.</verse>
				<verse number="21">ඒ සිද්ධිය මතක් වී, පේදුරු කතා කරමින්, “බලන්න ගුරුදේවයෙනි, ඔබ සාප කළ අත්තික්කා ගස වියළී තිබේ ය”යි කී ය.</verse>
				<verse number="22">ජේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, මෙසේ වදාළ සේක: “දෙවියන් වහන්සේ අදහාගන්න.</verse>
				<verse number="23">සැබැවින් ම මම ඔබට කියමි, කවරෙක් නමුත් මේ කන්දට, ‘ඉදිරීගොස්, මුහුදෙහි පතිත වේ වා’යි කියා, තමා කියන ඒ දේ සිදු වන්නේ ම යයි නිසැක සිතින් අදහන්නේ නම් එය සිදු වන්නේ ම ය.</verse>
				<verse number="24">එබැවින් මම ඔබට කියමි, ඔබ යාච්ඤාවෙන් අයැදින කවර දෙයක් වුව ද, එය ඔබට ලැබුණේ යයි අදහන්න. එවිට එය ඔබට ලැබෙන්නේ ම ය.</verse>
				<verse number="25">ඔබ නැඟිට යාච්ඤා කරන විට කිසිවෙකුට විරුද්ධ ව කිසිවක් ඇත්නම් කමා කරන්න. එසේ කළ යුත්තේ ස්වර්ගයෙහි වැඩ වසන පියාණන් වහන්සේත් ඔබේ වැරදිවලට කමා කරන පිණිස ය.</verse>
				<verse number="26">එහෙත් ඔබ කමා නොකරන්නහු නම්, ස්වර්ගයෙහි වැඩ වසන පියාණන් වහන්සේ ද ඔබේ වැරදිවලට කමා නොවන සේක.”</verse>
				<verse number="27">ඔව්හු යළිත් ජෙරුසලමට පැමිණියෝ ය. උන් වහන්සේ දේව මාලිගාවෙහි සක්මන් කරන කල, නායක පූජකවරු ද විනයධරයෝ ද ප්‍රජා මූලිකයෝ ද උන් වහන්සේ වෙත අවුත්,</verse>
				<verse number="28">“ඔබ මේ දේවල් කරන්නේ කවර අධිකාරි බලයකින් ද? මේ දේවල් කිරීමට මේ බලය ඔබට පැවරුවේ කවරෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.</verse>
				<verse number="29">ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “මමත් ඔබෙන් ප්‍රශ්නයක් අසමි. මට පිළිතුරු දෙන්න; එවිට මේ දේවල් කරන්නේ කවර බලයකින් දැ යි මම ඔබට කියන්නෙමි.</verse>
				<verse number="30">ජොහන් බව්තීස්ම-ස්නාපනය කිරීමේ බලය ලැබුවේ දෙවියන් වහන්සේගෙන් ද නැතහොත් මනුෂ්‍යයන්ගෙන් ද? මට පිළිතුරු දෙන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="31">ඔව්හු තම තමන් අතර විවාද කරමින්, “ ‘දෙවියන් වහන්සේගෙන් ය’යි අප කීවොත්, ‘ඔහු අදහා නොගත්තේ මන්දැ’යි අපට කියනු ඇත.</verse>
				<verse number="32">එසේ නම්, ‘මනුෂ්‍යයන්ගෙන් ය’යි කියමු ද?” ජොහන් සැබැවින් ම ‘දිවැසිවරයෙකැ’යි කොයි කවුරුනුත් පිළිගත් බැවින් ඔව්හු සෙනඟට භයින්, “එසේ නොකියමු”යි තීරණය කොට,</verse>
				<verse number="33">“අපි නොදනිමු”යි ජේසුස් වහන්සේට පිළිතුරු දුන්හ. ජේසුස් වහන්සේ ද, “මේ දේවල් කරන්නේ කවර අධිකාරි බලයකින් දැ යි මමත් ඔබට නොකියමි”යි වදාළ සේක.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">ජේසුස් වහන්සේ ඔවුන්ට තවදුරටත් උපමා මඟින් කතා කරමින් මෙසේ වදාළ සේක: “එක් මිනිසෙක් මිදි වත්තක් වගා කොට, එය වටා වැටක් බැඳ, මිදි යන්ත්‍රයට වළක් කැණ, මුර අට්ටාලයක් ඉදි කොට, ගොවීන්ට අඳයට දී පිට රට ගියේ ය.</verse>
				<verse number="2">ඔහු මිදි වත්තේ පලදාවෙන් සිය කොටස අඳකාරයන්ගෙන් ගන්නා පිණිස අස්වැන්න වාරයේ දී ගොවීන් වෙත දාසයෙකු යැවී ය.</verse>
				<verse number="3">ඔව්හු දාසයා අල්ලා තළා පෙළා, ඔහු හිස් අතින් හැරියෝ ය.</verse>
				<verse number="4">යළිත් ඔහු වෙන දාසයෙකු ඔවුන් වෙත යැවී ය. ඔව්හු ඔහුගේ හිස තුවාළ කොට ඔහුට නින්දා අපහාස ද කළහ.</verse>
				<verse number="5">ඔහු තවත් කෙනෙකු යැවී ය. ඔව්හු ඔහු ද මැරූ හ; තවත් බොහෝ දෙනෙකුන්ට එසේ ම කළහ. සමහරු තැළුම් කෑ හ; සෙසු අය මැරුම් කෑ හ.</verse>
				<verse number="6">ඔහුට තව එක් කෙනෙක්, එනම්, ප්‍රේමාන්විත පුත්‍ර රත්නයක් සිටියේ ය. ‘ඔවුන් මාගේ පුත්‍රයාට ගරු කරනු ඇතැ’යි කියා, අවසාන වශයෙන් ඔහු ද ඔවුන් වෙත යැවී ය.</verse>
				<verse number="7">එහෙත්, ඒ ගොවීහු තමන් අතර කතා වී, ‘මේ උරුමක්කාරයා ය. එන්න, මොහු මරමු. එවිට උරුමය අප සතු වන්නේ ය’ කියා</verse>
				<verse number="8">ඔහු අල්ලා, මරා, මිදි වත්තෙන් බැහැරට ඇද දැමූ හ.</verse>
				<verse number="9">ඉතින් මිදි වතු හිමියා කුමක් කරනු ඇද් ද? ඔහු ඇවිත් ඒ ගොවීන් නසා දමා මිදි වත්ත අන් අයට පවරනු ඇත.</verse>
				<verse number="10">මේ ශුද්ධ ලියවිලි පදයවත් ඔබ කියවා, නැද් ද? ‘ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම කොණේ මුල් ගල වී ඇත;</verse>
				<verse number="11">මෙය සමිඳුන්ගේ ම ක්‍රියාවකි, අප ඇස් හමුයෙහි එය විස්මයජනක ය.’ “</verse>
				<verse number="12">මේ උපමාව තමන්ට විරුද්ධ ව එල්ල කළ බව තේරුම්ගත් ඔව්හු උන් වහන්සේ අල්ලන්නට තැත් කළහ. එහෙත්, ජනකායට බිය වූයෙන් ඔව්හු උන් වහන්සේ අත්හැර යන්න ගියහ.</verse>
				<verse number="13">වචනයකින් උන් වහන්සේ අසු කර ගන්නා පිණිස ඔව්හු පරිසිවරුන්ගෙන් ද හෙරෝදිවරුන්ගෙන් ද සමහරෙකු උන් වහන්සේ වෙත යැවූ හ.</verse>
				<verse number="14">ඔව්හු අවුත්, “ගුරුදේවයෙනි, ඔබ අවංක මිනිසෙකු බවත්, කිසිවෙකු නොතකන බවත් අපි දනිමු; ඔබ මිනිසුන්ගේ තරාතිරම් නොබලා, දෙවියන් වහන්සේගේ මාර්ගය සැබෑ ලෙස උගන්වන සේක. සීසර් අධිරාජයාට බදු දීම යුතු ද අයුතු ද? දෙමු ද, නොදෙමු දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.</verse>
				<verse number="15">එහෙත් උන් වහන්සේ ඔවුන්ගේ කෛරාටිකකම දැන, “කුමට මා පරීක්ෂා කරන්නහු ද? මට බලන්න රිදී කාසියක් මෙහි ගෙනෙන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="16">ඔව්හු කාසියක් ගෙනාහ. “මේ රූපයත්, සටහනත් කාගේ දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. “සීසර් අධිරාජයාගේ ය”යි ඔව්හු කී හ.</verse>
				<verse number="17">එවිට ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “රජුගේ දේ රජුට ද දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේට ද දෙන්නැ”යි ඔවුන්ට වදාළ සේක. ඔව්හු උන් වහන්සේ ගැන අතිශයින් පුදුම වූ හ.</verse>
				<verse number="18">පුනරුජ්ජීවනයක් නැතැ යි උගන්වන සද්දුසිවරුන්ගෙන් සමහරු උන් වහන්සේ වෙත අවුත් ප්‍රශ්න කරමින්, උන් වහන්සේගෙන් මෙසේ ඇසූ හ:</verse>
				<verse number="19">“ගුරුදේවයෙනි, යමෙකුගේ සහෝදරයෙක් දරුවෙකු නොලැබ, සිය භාර්යාව ජීවත් ව සිටිය දී මියගියොත්, ඔහුගේ සහෝදරයා ඒ ස්ත්‍රිය පාවාගෙන සිය සහෝදරයාගේ නමට දරුවන් ඉපදවිය යුතු ය යි මෝසෙස් විසින් අපට අණ දී තිබේ.</verse>
				<verse number="20">වරක් සහෝදරයෝ සත් දෙනෙක් සිටියහ. පළමුවැන්නා භාර්යාවක පාවාගෙන දරුපල නැති ව මළේ ය.</verse>
				<verse number="21">දෙවැන්නාත් ඇය පාවාගෙන දරුපල නැති ව මළේ ය. තෙවැන්නාටත් එසේ ම විය.</verse>
				<verse number="22">සත්දෙන ම දරුපල නැති ව මළෝ ය. හැමට ම පසු ස්ත්‍රිය ද මළා ය.</verse>
				<verse number="23">සත් දෙනා ම ඇය භාර්යාව කොට පාවාගත් බැවින් පුනරුජ්ජීවනයේ දී, ඔවුන් මළවුන්ගෙන් නැඟිටින කල ඈ ඔවුන්ගෙන් කවරෙකුගේ භාර්යාව වන්නී ද?”</verse>
				<verse number="24">ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: “ඔබ මුළා වන්නේ ශුද්ධ ලියවිලි වත් දෙවියන් වහන්සේගේ බලපරාක්‍රමය වත් නොදන්නා නිසා නොවේ ද?</verse>
				<verse number="25">මා එසේ කියන්නේ මළවුන්ගෙන් උත්ථානවීමේ දී ආවාහ වීමක් හෝ විවාහ වීමක් හෝ නැති බැවිනි; ඔව්හු ස්වර්ගයෙහි දේව දූතයන් මෙන්‍ වෙති.</verse>
				<verse number="26">තවද මළවුන් නැඟිටුවනු ලැබීම ගැන, ‘මම ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ය, ඊසාක්ගේ දෙවියන් වහන්සේ ය, ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ය’යි දෙවියන් වහන්සේ මෝසෙස්ට වදාළ බව ඔහුගේ පොතේ ගිනිගත් පඳුර ගැන සඳහන් වන පාඨයෙහි ඔබ කියවා නැද් ද?</verse>
				<verse number="27">උන් වහන්සේ මළවුන්ගේ දෙවියන් වහන්සේ නොව ජීවතුන්ගේ දෙවියන් වහන්සේ ය. ඔබ බොහෝ සේ මුළා ව ගොස් ඇත.”</verse>
				<verse number="28">විනයධරයන්ගෙන් කෙනෙක් පැමිණ, ඔවුන් එකතු වී උන් වහන්සේ සමඟ විවාද කරනු අසා, උන් වහන්සේ ඔවුන්ට මැනවින් පිළිතුරු දුන් බව ද දැක, “සියලු ආඥා අතරෙන් ශ්‍රේෂ්ඨතම ආඥාව කිමෙක් දැ”යි උන් වහන්සේගෙන් ප්‍රශ්න කෙළේ ය.</verse>
				<verse number="29">ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ශ්‍රේෂ්ඨතම ආඥාව මේ ය: ‘ඉශ්රායෙල් වැසියෙනි, අසන්න, අපේ ස්වාමින් වන දෙවියන් වහන්සේ එක ම සමිඳාණන් වහන්සේ ය.</verse>
				<verse number="30">නුඹේ මුළු හෘදයෙන් ද නුඹේ මුළු ආත්මයෙන් ද නුඹේ මුළු බුද්ධියෙන් ද නුඹේ මුළු වීර්යයෙන් ද නුඹේ දෙවි‍ ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න.’</verse>
				<verse number="31">දෙවැන්න මේ ය: ‘නුඹ නුඹට ම ප්‍රේම කරන්නාක් මෙන්‍ නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න.’ මෙයට වඩා ශ්‍රේෂ්ඨ අන් කිසි ආඥාවක් නැතැ”යි වදාළ සේක.</verse>
				<verse number="32">එවිට විනයධරයා උන් වහන්සේට පිළිතුරු දෙමින්, “ගුරුදේවයෙනි, එය සැබෑ ය. ‘උන් වහන්සේ එක ම තැනැන් වහන්සේ ය’යි ඔබ කීවා හරි ය. උන් වහන්සේ හැර අන් දෙවි‍ කෙනෙක් නැත.</verse>
				<verse number="33">මුළු හෘදයෙන් ද මුළු ආත්මයෙන් ද මුළු බුද්ධියෙන් ද මුළු වීර්යයෙන් ද උන් වහන්සේට ප්‍රේම කිරීම සහ තමාට මෙන්‍ ම තම අසල්වැසියාට ප්‍රේම කිරීම, දවන යාග පූජා හා වෙනත් පූජා සියල්ලට ම වඩා ශ්‍රේෂ්ඨය”යි කීවේ ය.</verse>
				<verse number="34">ඔහු කොතරම් තේරුම් පැහැදුම් ඇතුව පිළිතුරු දුන්නේ දැ යි ජේසුස් වහන්සේ දැක “ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට නුදුරු ව සිටින්නෙහි ය”යි ඔහුට වදාළ සේක. ඉන්පසු උන් වහන්සේගෙන් කිසි ප්‍රශ්නයක් අසන්න කිසිවෙකුට ධෛර්යයක් නො වී ය.</verse>
				<verse number="35">ජේසුස් වහන්සේ දේව මාලිගාවෙහි අනුශාසනා කරමින්, “ක්‍රිස්තුන් වහන්සේ දාවිත්ගේ පුත්‍රයා යයි විනයධරයෝ කෙසේ කියත් ද?</verse>
				<verse number="36">දාවිත් ම ශුද්ධාත්මානුභාවයෙන් කතා කරමින්: ‘මා ඔබ සතුරන් ඔබ පාද යට ලන තෙක් මා දකුණු පස අසුන් ගන්න කියා සමිඳාණෝ මා සමිඳුන්ට වදාළ සේකැ’යි කී ය.</verse>
				<verse number="37">දාවිත් උන් වහන්සේට ‘සමිඳුන්’ කියා අමතයි. එසේ නම්, උන් වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේ දැ”යි ඇසූ සේක. මහා ජනකායක් උන් වහන්සේට සතුටින් සවන් දුන්හ.</verse>
				<verse number="38">උන් වහන්සේ සිය අනුශාසනාවේ දී කතා කරමින්, “විනයධරයන්ගෙන් පරෙස්සම් වන්න. ඔව්හු දිග උතුරු සළු හැඳ සක්මන් කරන්න ද වෙළෙඳපොළවල දී ගෞරවාචාර ලබන්න ද ප්‍රිය වෙති;</verse>
				<verse number="39">ධර්මශාලාවල දී මූලාසනවලටත්, මංගල භෝජනවල දී සම්භාවනීය ආසන ලබන්ටත් ප්‍රිය වෙති;</verse>
				<verse number="40">වැන්දඹුවන්ගේ ගේදොර කාදමති; පෙනුමට දිගින් දිගට යාච්ඤා කරති; මොවුහු වඩාත් බරපතල දඬුවමක් ලබති”යි වදාළ සේක.</verse>
				<verse number="41">උන් වහන්සේ දේව මාලිගාවේ මුදල් ගබඩාව ඉදිරියේ වැඩ හිඳ සෙනඟ එයට මුදල් දමනු බලා හුන් සේක. ධනපතීහු බොහෝ දෙනෙක් බොහෝ මුදල් දැමූ හ.</verse>
				<verse number="42">එක් දිළිඳු වැන්දඹුවක් අවුත්, සතයක් පමණ වටිනා තඹ සල්ලි දෙකක් දැමුවා ය.</verse>
				<verse number="43">උන් වහන්සේ ශ්‍රාවකයන් තමන් වෙත කැඳවා, “සැබැවින් ම මම ඔබට කියමි, මේ දිළිඳු වැන්දඹුව ගබඩාවට මුදල් දැමූ අනික් හැම දෙනාට ම වැඩියෙන් දැමුවා ය.</verse>
				<verse number="44">ඒ කවුරුත් තමන්ගේ වැඩිපුර මුදලින් යමක් දැමූ හ. එහෙත් මෑ, දුප්පත් ව සිටිය දීත් සිය දිවිපෙවෙත සඳහා තිබුණු මුළු වත්කම ම දැමුවා ය”යි වදාළ සේක.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">උන් වහන්සේ දේව මාලිගාවෙන් නික්ම යද්දී ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක්, “ගුරුදේවයෙනි, බලන්න! මොන තරම් විශාල ගල් ද, මොන තරම් විශාල ගොඩනැඟිලි දැ!”යි උන් වහන්සේට කී ය.</verse>
				<verse number="2">ජේසුස් වහන්සේ ඔහු අමතා, “මේ විශාල ගොඩනැඟිලි ඔබට පෙනෙනවා නොවේ ද? ගලක් මත ගලක් ඉතිරි නොවන සේ ඒවා බිඳ හෙළනු ලැබේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="3">උන් වහන්සේ දේව මාලිගාව ඉදිරියෙහි වූ ඔලීව කන්දේ වැඩහුන් කල පේදුරු ද ජාකොබ් ද ජොහන් ද ඇන්ඩෘ ද පෞද්ගලික ව උන් වහන්සේට කතා කොට,</verse>
				<verse number="4">“මේ දේ කවදා සිදුවනු ඇද් ද? ඒ සියල්ල ඉෂ්ට වන්න යන කල කුමන ලකුණක් ඇති වේ දැ යි අපට කිව මැනවැ”යි කී හ.</verse>
				<verse number="5">ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කරන්න පටන්ගෙන මෙසේ වදාළ සේක: “කිසිවෙකු ඔබ මුළා නොකරන හැටියට බලාගන්න.</verse>
				<verse number="6">බොහෝ දෙනෙක් මාගේ නාමයෙන් අවුත්, ‘මම එතුමා ය’ කියා බොහෝ දෙන මුළා කරන්නාහ.</verse>
				<verse number="7">යුද්ධ ගැන ද යුද්ධ පිළිබඳ දූසමාන ආරංචි ද ඔබ අසන කල සන්ත්‍රාසයට පත් නොවන්න. මේ දේවල් සිදුවනු ඒකාන්ත ය. එහෙත් අවසානය තව ම නැත.</verse>
				<verse number="8">මන්ද, ජාතියක් ජාතියකට විරුද්ධ ව ද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධ ව ද නැඟී සිටිනු ඇත. නොයෙක් තැන්හි භූමි කම්පා ඇති වේ. සාගත ද ඇති වේ. මේ වූකලී නව යුගය බිහි කරවන ප්‍රසව වේදනාවේ පටන්ගැන්ම ය.</verse>
				<verse number="9">“එහෙත් පරෙස්සම් වන්න. ඔවුන් උසාවිවලට ඔබ පාවා දෙනු ඇත. ධර්මශාලාවලට ගෙනවුත් ඔබට තළනු ඇත. ඔබ මා නිසා, ආණ්ඩුකාරයන් ද රජුන් ද අබිමුවෙහි, ඔවුන්ට සාක්ෂි වන පිණිස පෙනී සිටිනු ඇත.</verse>
				<verse number="10">පළමු කොට සියලු ජාතීන් හට සුබ අස්න දේශනා කළ යුතු ය.</verse>
				<verse number="11">ඔවුන් ඔබ පාවා දෙන්න ගෙන යන කල කුමක් කියන්න දැ යි කල් තියා කරදර නොවන්න. ඒ පැයේ දී ම ඔබට දෙනු ලබන දෙය කියන්න. මන්ද, කතා කරන්නේ ඔබ නොව ශුද්ධාත්මයාණන් වහන්සේ ය.</verse>
				<verse number="12">තවද සහෝදරයා සහෝදරයා ද පියා දරුවා ද මරණයට පාවා දෙනු ඇත. දරුවෝ මවුපියන්ට විරුද්ධව නැඟී සිට ඔවුන් මරණයට පත් කරන්නෝ ය.</verse>
				<verse number="13">මාගේ නාමය නිසා සියල්ලන් ම ඔබට වෛර කරනු ඇත. එහෙත්, අග දක්වා ම ස්ථීරව සිටින්නා ගළවනු ලැබේ.”</verse>
				<verse number="14">“තවද, ‘බිහිසුණු දූෂිතය’ එයට නොහිමි තැන සිටිනු ඔබ යම් කලෙක දකින්නහු ද, (පාඨකයා තේරුම් ගනී වා), එකල ජුදයෙහි සිටින අය කඳුවලට පලා යෙත් වා.</verse>
				<verse number="15">පියස්ස මත සිටින්නා පහතට නොබසී වා; තම ගෙයින් කිසිවක් ගන්නා පිණිස එහි ඇතුළු නොවේ වා.</verse>
				<verse number="16">කෙතෙහි සිටින්නා තම උතුරු සළුව ගැනීමට පෙරළා නොයේ වා;</verse>
				<verse number="17">අහෝ, ඒ දවස්වල දී ගර්භණීන්ට ද කිරි දෙන මවුවරුන්ට ද ඇති වන විපතක මහත!</verse>
				<verse number="18">හේමන්තයේ දී මෙය සිදු නොවන පිණිස යාච්ඤා කරන්න.</verse>
				<verse number="19">මන්ද, දෙවියන් වහන්සේ මැවූ ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නුවූ විරූ, මතු ද නොවන විරූ, දුක් පීඩා ඒ දවස් වල දී පැමිණෙන බැවිනි.</verse>
				<verse number="20">සමිඳාණන් වහන්සේ විසින් ඒ කාලය කෙටි නොකරන ලද්දේ නම්, කිසිවෙක් ගළවනු නොලබන්නෝ ය. එහෙත්, උන් වහන්සේ තෝරා වෙන් කොට ගත් අය වෙනුවෙන් ඒ කාලය කෙටි කළ සේක.</verse>
				<verse number="21">“එකල, ‘බලන්න, ක්‍රිස්තුන් වහන්සේ මෙහි ය; බලන්න, එහි ය’යි යමෙකු ඔබට කීවොත් විශ්වාස නොකරන්න.</verse>
				<verse number="22">මක්නිසා ද බොරු ක්‍රිස්තුවරයන් ද බොරු දිවැසිවරයන් ද පහළ වී, හැකි නම්, තෝරාගත් අය මුළා කරන පිණිස හාස්කම් හා අරුමපුදුම දේ දක්වනු ඇත.</verse>
				<verse number="23">එහෙත් සෝදිසියෙන් සිටින්න! මම කල් තියා සියල්ල ඔබට කීවෙමි.”</verse>
				<verse number="24">“තවද, ඒ දවස්වල දී දුක් ගාවිනාවලින් පසු ව, හිරු මඬල අඳුරු වන්නේ ය; සඳ මඬල එළිය නොදෙන්නේ ය.</verse>
				<verse number="25">අහසින් තාරකාවෝ පතිත වන්නාහ; අහසේ බලපරාක්‍රමයෝ චංචල වන්නාහ.</verse>
				<verse number="26">එකල මනුෂ්‍ය-පුත්‍රයාණන් මහා බලපරාක්‍රමයෙන් හා තේජශ්‍රියෙන් විරාජමාන ව, වලාකුළු මත වඩිනු ඔව්හු දකිති.</verse>
				<verse number="27">එවිට උන් වහන්සේ තම දූතයන් යවා පොළොවේ සීමාන්තයේ පටන් අහසේ සීමාන්තය දක්වා සිවු දිගින් තමන් වහන්සේ තෝරාගත් අය රැස් කරනු ඇත.”</verse>
				<verse number="28">“අත්තික්කා ගසෙන් පාඩමක් ඉගෙනගන්න. එහි ළපටි අතු මතු වී, කොළ ලියලන කල ගිම්හානය ළඟ බව ඔබ දන්නහු ය.</verse>
				<verse number="29">එලෙස ම මේ දෙය සිදු වනු ඔබ දකිත් ම, උන් වහන්සේ දොරකඩ ළඟ ම ය යි දැනගන්න.</verse>
				<verse number="30">සැබැවින් ම මම ඔබට කියමි, ඒ සියල්ල සිදු වන තෙක් මේ පරම්පරාව පහ ව නොයන්නේ ය.</verse>
				<verse number="31">අහසත් පොළොවත් පහ ව යන්නේ ය, එහෙත් මාගේ වචනය කිසි දා පහ ව නොයන්නේ ම ය.”</verse>
				<verse number="32">“ඒ දිනය පිළිබඳ ව හෝ ඒ පැය පිළිබඳ ව හෝ කිසිවෙක් නොදනිති; ස්වර්ගයෙහි දූතයෝ වත්, පුත්‍රයාණෝ වත් නොදනිති; එය දන්නේ පියාණන් වහන්සේ පමණක් ය.</verse>
				<verse number="33">නියමිත මොහොත කවදා දැ යි ඔබ නොදන්න බැවින්, පරෙස්සම් වන්න, අවදි ව ඉන්න.</verse>
				<verse number="34">ඒ වනාහි සිය දාසයන්ට බලය ද එකිනෙකාට තම තමන්ගේ වැඩ ද පවරා, ‘අවදි ව ඉන්නැ’යි දොරටු පාලයාට අණ දී සිය නිවෙසින් පිට වී ගමනක යෙදෙන මනුෂ්‍යයෙකුගේ ආපසු පැමිණීම හා සමාන ය.</verse>
				<verse number="35">ඒ ගෘහපතියා කොයි වේලේ එයි ද, සවස ද මධ්‍යම රාත්‍රියේ ද කුකුළා හඬලන වේලේ ද අලුයම දැ යි, ඔබ නොදන්නා හෙයින්,</verse>
				<verse number="36">ඔහු හදිසියෙන් අවුත් ඔබ නිදා හිඳිනු නොදක්නා පිණිස, අවදි ව සිටින්න.</verse>
				<verse number="37">ඔබට කියන දෙය හැමට ම කියමි, අවදි ව සිටින්න.”</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">පාස්කුවට ද නුමුහුන් රොටි මංගල්‍යයට ද ඇත්තේ තව දෙදවසකි. නායක පූජකවරු ද විනයධරයෝ ද උන් වහන්සේ අල්ලා මැරීමට කපටි උපායක් සෙවූ හ.</verse>
				<verse number="2">“එහෙත්, සෙනඟ අතර කලකෝලාහල ඇති නොවන පිණිස මංගල්‍යයේ දී එය සිදු නොකරමු”යි ඔව්හු කී හ.</verse>
				<verse number="3">උන් වහන්සේ බෙතානියෙහි ලාදුරු රෝගී සීමොන්ගේ ගෙදර කෑමට හිඳගෙන සිටිය දී, එක් ස්ත්‍රියක් ඉතා අගනා සුපිරිසිදු සුවඳ විලවුන් පිරුණු කිරිගල් කරඬුවක් ගෙන’වුත්, එය බිඳ උන් වහන්සේගේ හිස මත ඒ සුවඳ විලවුන් වත් කළා ය.</verse>
				<verse number="4">එහෙත් එහි සිටි ඇතැමෙක් කෝප වී, “මේ විලේපනය නාස්ති කෙළේ කුමට ද?</verse>
				<verse number="5">මේ විලේපනය රිදී කාසි තුන්සියයකට වැඩියෙන් විකුණා, ඒ මුදල දිළිඳුන්ට දිය හැකි ව තිබුණේ ය”යි තම තමන් අතර කියාගනිමින් ඈට බැණ වැදුණෝ ය.</verse>
				<verse number="6">එහෙත් ජේසුස් වහන්සේ කතා කොට, “ඈට නිකම් ඉන්න දෙන්න, ඈට කරදර කරන්නේ මන් ද? ඈ මා හට කෙළේ මනහර දෙයකි.</verse>
				<verse number="7">දුගීහු ඔබ සමඟ හැම දා ම සිටිති. ඔබ කැමැති හැම විටක ම ඔවුන්ට යහපත කරන්න ඔබට පුළුවන. එහෙත්, මම හැම දා ම ඔබ සමඟ නොසිටිමි.</verse>
				<verse number="8">ඇයට හැකි දෙය ඈ කළා ය. තැන්පත් කිරීම සඳහා, කල්තියා, ඈ මාගේ සිරුර ආලේප කර ඇත.</verse>
				<verse number="9">සැබැවින් ම මම ඔබට කියමි, සුබ අස්න ලොව පුරා දේශනා කරනු ලබන හැම තැන්හි ම මේ ස්ත්‍රියගේ මේ ක්‍රියාව ද ඇය ගැන සැමරුමක් වශයෙන් කියනු ලැබේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="10">දොළොස් දෙනාගෙන් එක් කෙනෙකු වූ ජූදස් ඉස්කාරියොත් ජේසුස් වහන්සේ නායක පූජකවරුන්ට පාවා දෙනු පිණිස ඔවුන් වෙතට ගියේ ය.</verse>
				<verse number="11">ඔව්හු එපවත් අසා තුටුපහටු වී ඔහුට මුදල් දෙන්නට පොරොන්දු දුන්හ. එවිට ඔහු උන් වහන්සේ පාවා දෙන්න සුදුසු අවස්ථාවක් සෙවී ය.</verse>
				<verse number="12">පාස්කු බැටළු පෝතකයා පූජා කරනු ලබන, නුමුහුන් රොටි මංගල්‍යයේ පළමු වන දින උන් වහන්සේගේ ශ්‍රාවකයෝ, “පාස්කු භෝජනය වළඳන පිණිස අප ගොස් කොතැන පිළියෙළ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.</verse>
				<verse number="13">එවිට උන් වහන්සේ තම ශ්‍රාවකයන් දෙදෙනෙකු යවමින්, “නුවරට යන්න; ගිය විට, වතුර කළයක් ගෙන යන මිනිසෙක් ඔබට හමු වන්නේ ය; ඔහු පස්සේ යන්න.</verse>
				<verse number="14">ඔහු යම් ගෙදරකට ඇතුළු වන්නේ ද ඒ ගෙහිමියාට කතා කොට, ‘මාගේ ශ්‍රාවකයන් සමඟ පාස්කු භෝජනය වළඳන පිණිස මට වෙන් කළ කාමරය කොයි ද කියා සමිඳාණන් වහන්සේ අසන සේකැ’යි කියන්න.</verse>
				<verse number="15">එවිට සකස් කොට සූදානම් ව ඇති ලොකු උඩුමහල් කාමරයක් ඔහු ඔබට පෙන්වනු ඇත. එහි අපට පාස්කු භෝජනය පිළියෙළ කරන්නැ”යි ඔවුන්ට වදාළ සේක.</verse>
				<verse number="16">ශ්‍රාවකයෝ පිටත් ව නුවරට ගියහ. උන් වහන්සේ ඔවුන්ට කී ලෙස සියල්ල ම සම්බ විය; ඔව්හු ද පාස්කු භෝජනය පිළියෙළ කළහ.</verse>
				<verse number="17">සවස් වූ කල උන් වහන්සේ දොළොස් දෙනා කැටුව වැඩිය සේක.</verse>
				<verse number="18">ඔවුන් වාඩි වී භෝජන වළඳමින් සිටිය දී ජේසුස් වහන්සේ, “සැබැවින් ම මම ඔබට කියමි, ඔබෙන් එක් කෙනෙක්; මා හා සමඟ වළඳන කෙනෙක්; මා පාවා දෙන්නේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="19">ඔව්හු දුක් වන්නට ද, එක් එක්කෙනා “ඒ මම දැ”යි උන් වහන්සේගෙන් අසන්නට ද පටන්ගත්හ.</verse>
				<verse number="20">උන් වහන්සේ ද පිළිතුරු දෙමින්, “ඒ තැනැත්තා දොළොස් දෙනාගෙන් එක් කෙනෙක් ය; මා සමඟ එක පාත්‍රයෙහි අත ලන තැනැත්තේ ය.</verse>
				<verse number="21">ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන ලියා තිබෙන ලෙස ම මනුෂ්‍ය-පුත්‍රයාණෝ නියමිත ගමන යන සේක් ම ය; එහෙත් මනුෂ්‍ය-පුත්‍රයාණන් පාවා දෙන යම් මිනිසෙක් වේ ද ඔහුට වන විපතක මහත! ඒ මිනිසා නූපන්නේ නම් වඩා හොඳ ය”යි වදාළ සේක.</verse>
				<verse number="22">ඔවුන් ආහාර වළඳමින් සිටිය දී උන් වහන්සේ රොටි ගෙන, ආශීර්වාදය පවසා, ඒවා කඩා ඔවුන්ට දී, “ගන්න, මේ මාගේ ශරීරය ය”යි වදාළ සේක.</verse>
				<verse number="23">උන් වහන්සේ කුසලානක් ද ගෙන, තුති පුදා, ඔවුන්ට දුන් සේක. සියල්ලෝම එයින් පානය කළහ.</verse>
				<verse number="24">තවද උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “මෙය බොහෝ දෙනා වෙනුවෙන් වගුරුවනු ලබන මාගේ ගිවිසුම්-රුධිරය වේ.</verse>
				<verse number="25">සැබැවින් ම මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි දී මම නැවත මිදියුස පානය කරන දිනය එන තෙක්, මම මේ මිදියුස යළිත් පානය නොකරන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="26">ඔව්හු ගීතයක් ගයා ඔලීව කන්දට නික්ම ගියහ.</verse>
				<verse number="27">තවද, ජේසුස් වහන්සේ කතා කරමින්, “ඔබ හැම දෙන ම පැකිළෙන්නහු ය; මන්ද, ‘මම එඬේරාට පහර දෙන්නෙමි. එවිට බැටළුවෝ විසුරුවනු ලබන්නෝ ය’යි ලියා තිබේ.</verse>
				<verse number="28">කෙසේ වුව ද උත්ථාන කරනු ලැබූ පසු, මම ඔබට පෙරටුව ගලීලයට යන්නෙමි”යි ඔවුන්ට වදාළ සේක.</verse>
				<verse number="29">පේදුරු කතා කොට, “අන් හැම දෙනා ම අධෛර්යයට පත් වුණත්, මම නම් එසේ නොවන්නෙමි”යි උන් වහන්සේට කී ය.</verse>
				<verse number="30">ජේසුස් වහන්සේ ද, “සැබැවින් ම මම ඔබට කියමි. අද ම, මේ රාත්‍රියේ දී ම කුකුළා දෙ වරක් හඬලන්න පෙර, මා හඳුනන්නේ නැතැ යි ඔබ තෙ වරක් කියන්නෙහි ය”යි ඔහුට වදාළ සේක.</verse>
				<verse number="31">එහෙත්, ඔහු “මට ඔබ වහන්සේ සමඟ මැරෙන්න සිදු වුණත් ‘ඔබ නාඳුනමි’යි කියන්නේ ම නැතැ”යි තරයේ ම කියා සිටියේ ය. සෙසු සියල්ලෝ ද එසේ ම කී හ.</verse>
				<verse number="32">ශ්‍රාවකයෝ ගෙත්සෙමන නම් වූ තැනට පැමිණියෝ ය. උන් වහන්සේ ද, “මා යාච්ඤා කරන අතර, ඔබ මෙහි සිටින්නැ”යි ශ්‍රාවකයන්ට වදාළ සේක.</verse>
				<verse number="33">උන් වහන්සේ පේදුරු ද ජාකොබ් ද ජොහන් ද කැඳවාගෙන ගිය සේක. ඉන්පසු උන් වහන්සේ අතිශයින් බියපත් වන්න ද ශෝක වන්න ද පටන් ගත් සේක.</verse>
				<verse number="34">උන් වහන්සේ ඔවුන් අමතා, “මැරෙණ තරමට මාගේ සිත අතිශයින් ශෝකාකූල ය; මෙහි නැවතී අවදි ව සිටින්න” කියා,</verse>
				<verse number="35">මඳක් පෙරට ගොස් මුණින්තලා වී, හැකි නම්, ඒ පැය තමන් කෙරෙන් පහ ව යන ලෙස යාච්ඤා කරමින්,</verse>
				<verse number="36">“අබ්බා, පියාණෙනි, ඔබට සියල්ලක් ම හැකි ය; මේ කුසලාන මා කෙරෙන් ඉවත් කළ මැනව; එහෙත් මාගේ කැමැත්ත නොව, ඔබගේ කැමැත්ත වේ වා”යි වදාළ සේක.</verse>
				<verse number="37">පසුව උන් වහන්සේ අවුත්, ඔවුන් නිදා හිඳිනු දැක, පේදුරු අමතා, “සීමොන් ඔබ නිදි ද? පැයක් වත් අවදි ව ඉන්න ඔබට නොහැකි වූයේ ද?</verse>
				<verse number="38">පරීක්ෂාවට නොවැටෙන පිණිස අවදි ව හිඳ යාච්ඤා කරන්න; හිත නම් කැමැතිය, එහෙත් ගත නම් දුබලය”යි වදාළ සේක.</verse>
				<verse number="39">උන් වහන්සේ යළිත් ගොස් එම වචන ම පවසමින් යාච්ඤා කළ සේක.</verse>
				<verse number="40">ඉන්පසු නැවතත් හැරී අවුත් ඔවුන් නිදා හිඳිනු දුටු සේක. ඔවුන්ගේ ඇස් නිදිබර ව තිබිණි. උන් වහන්සේට කුමන පිළිතුරක් දෙන්න දැ යි ඔව්හු නොදත්හ.</verse>
				<verse number="41">උන් වහන්සේ තෙ වන වරත් අවුත් ඔවුන් අමතමින්, “තවමත් නිදි ද? තවමත් විවේකයෙන් ද? ඉතින් ඇති; නියමිත මොහොත පැමිණ තිබේ; මෙන්න, මනුෂ්‍ය-පුත්‍රයාණෝ පවිටුන්ගේ අත්වලට පාවා දෙනු ලබන සේක;</verse>
				<verse number="42">නැඟිටින්න; අපි යමු; මෙන්න මා පාවා දෙන්නා ළඟ ම ය”යි වදාළ සේක.</verse>
				<verse number="43">ජේසුස් වහන්සේ කතා කරමින් සිටිය දී, දොළොස් දෙනාගෙන් කෙනෙකු වූ ජූදස් ද ඔහු කැටුව නායක පූජකවරු ද විනයධරයන් හා ප්‍රජා මූලිකයන් විසින් එවන ලද සමූහයක් ද කඩු මුගුරු රැගෙන ආහ.</verse>
				<verse number="44">“මම යමෙකු සිඹිම් ද ඒ ඔබ සොයන තැනැත්තා ය. ඔහු අල්ලා පරෙස්සමින් ගෙන යන්න” කියා උන් වහන්සේ පාවා දෙන්නා ඔවුන්ට ලකුණක් දී තිබිණි.</verse>
				<verse number="45">ජූදස් අවුත් වහා ම උන් වහන්සේ වෙත ගොස්, “රබ්බී” කියා උන් වහන්සේ සිඹගත්තේ ය.</verse>
				<verse number="46">ඔව්හු උන් වහන්සේ අල්ලාගෙන අත්අඩංගුවට ගත්හ.</verse>
				<verse number="47">ළඟ සිටි අයගෙන් කෙනෙක් කඩුව ඇද මහා නායක පූජකවරයාගේ දාසයාට ගසා ඔහුගේ කන කපාලී ය.</verse>
				<verse number="48">ජේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “ඔබ සොරෙකුට විරුද්ධ ව මෙන්‍ කඩු මුගුරු ගෙන මා අල්ලන්න ආවාහු ද?</verse>
				<verse number="49">මම දිනපතා ම දේව මාලිගාවෙහි අනුශාසනා කරමින් ඔබ සමඟ සිටියෙමි; එහෙත් ඔබ මා අල්ලා නොගත්තහු ය; මෙසේ වන්නේ ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති දේ සම්පූර්ණ වන පිණිස ය”යි වදාළ සේක.</verse>
				<verse number="50">එවිට සියල්ලෝ ම උන් වහන්සේ හැරපියා පලා ගියහ.</verse>
				<verse number="51">සිහින් හණ රෙද්දක් පමණක් පොරවාගත් තරුණයෙක් උන් වහන්සේ පසුපස්සේ ගියේ ය. ඔව්හු ඔහු අල්ලාගත්හ.</verse>
				<verse number="52">එහෙත්, ඔහු ඒ රෙද්ද හැර දමා නග්න ව පලා ගියේ ය.</verse>
				<verse number="53">ඔව්හු ජේසුස් වහන්සේ උත්තම පූජකයා වෙත ගෙන ගියහ. සියලු නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද විනයධරයෝ ද එහි රැස් වූ හ.</verse>
				<verse number="54">පේදුරු ද උත්තම පූජකයාගේ මළුව දක්වා ම දුරින් උන් වහන්සේ පසුපස්සේ ගියේ ය. ඔහු මුර සේවකයන් සමඟ වාඩි වී ගිනි තපිමින් සිටියේ ය.</verse>
				<verse number="55">නායක පූජකවරු ද මුළු ශ්‍රේෂ්ඨාධිකරණය ද ජේසුස් වහන්සේ මරණයට පත් කරවන පිණිස උන් වහන්සේට විරුද්ධ ව සාක්ෂි සෙවූ හ. එහෙත්, කිසි සාක්ෂියක් සම්බ නො වී ය.</verse>
				<verse number="56">බොහෝ දෙනෙකු උන් වහන්සේට විරුද්ධ ව බොරු සාක්ෂි කී නමුත්, ඔවුන්ගේ සාක්ෂි එකට එකක් නොගැළපිණි.</verse>
				<verse number="57">එවිට සමහරු ඉදිරිපත් වී උන් වහන්සේට විරුද්ධ ව බොරු සාක්ෂි කියමින්,</verse>
				<verse number="58">“ ‘මිනිස් අතින් තැනූ මේ දේව මාලිගාව බිඳදමා අතින් නොතැනූ අනිකක් මම තෙ දිනකින් ගොඩනඟමි’යි මොහු කියනු අපි ඇසීමු”යි කී හ.</verse>
				<verse number="59">එහෙත්, මේ ලෙසින් ද ඔවුන්ගේ සාක්ෂි එකට එක විරුද්ධ විය.</verse>
				<verse number="60">උත්තම පූජකයා ද ඔවුන් ඉදිරියෙහි නැඟිට, “ඔබ පිළිතුරක් දෙන්නේ නැද් ද? මොවුන් ඔබට විරුද්ධ ව ගෙනෙන සාක්ෂි මොනවා දැ”යි ජේසුස් වහන්සේගෙන් ඇසී ය.</verse>
				<verse number="61">එහෙත්, ජේසුස් වහන්සේ නිශ්ශබ්ද ව කිසි පිළිතුරක් නොදී සිටි සේක. යළිත් උත්තම පූජකයා කතා කොට, “ඔබ ක්‍රිස්තුවරයාණෝ ද? ආශීර්වාදිතයාණන්ගේ පුත්‍රයාණෝ දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය.</verse>
				<verse number="62">ජේසුස් වහන්සේ ද, “එසේ ය, තවද මනුෂ්‍ය-පුත්‍රයාණන් බලපරාක්‍රමයාණන්ගේ දකුණු පස වැඩහිඳිනවාත්, අහසේ වලාකුළු පිරිවරා වඩිනවාත් ඔබ හැම දකිනු ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="63">එකල උත්තම පූජකයා තම සළුව ඉරාගෙන, “තවත් සාක්ෂිකරුවන්ගෙන් අපට මොන වැඩක් ද?</verse>
				<verse number="64">දේවාපහාසය ඔබට ම ඇසුණේ ය; ඔබේ තීරණය කිමෙක් දැ”යි ඇසුවේ ය. සියල්ලෝ ම ඒකමතික ව උන් වහන්සේ මරණයට සුදුස්සෙකැ යි එකහෙළා තීරණය කළහ.</verse>
				<verse number="65">එකල ඇතැමෙක් උන් වහන්සේට කෙළ ගසන්නට ද උන් වහන්සේගේ මුහුණ වසා අතින් පහර දෙමින්, “ඉතින් දිවැසින් කියන්නැ”යි උන් වහන්සේට කියන්නට ද පටන්ගත්හ. මුර සේවකයෝ ද උන් වහන්සේ භාරගෙන, අතුල් පහර දුන්හ.</verse>
				<verse number="66">පේදුරු, පහළ මළුවේ සිටිය දී, උත්තම පූජකයාගේ එක් සේවිකාවක් අවුත්</verse>
				<verse number="67">පේදුරු ගිනි තපිනු දැක ඔහු දෙස හොඳින් බලා, “ඔබත් නාසරෙත්හි ඒ ජේසුස් සමඟ සිටියෙහි ය”යි කීවා ය.</verse>
				<verse number="68">ඔහු අපලාප කරමින්, “ඔබ කියන දේ කුමක් දැ යි මම නොදනිමි, මට නොතේරේ” කියා නික්ම, ද්වාර මණ්ඩපයට ගියේ ය. එකල කුකුළා හැඬලී ය.</verse>
				<verse number="69">ඒ තරුණිය නැවතත් ඔහු දැක, “මොහු ඔවුන්ගෙන් කෙනෙකැ”යි ළඟ සිටියවුන්ට කියන්නට පටන් ගත්තා ය.</verse>
				<verse number="70">එහෙත් ඔහු යළිත්, “නැතැ”යි කීවේ ය. මඳ වේලාවකට පසු නැවතත් ළඟ සිටි අය, “සැබැවින් ම ඔබ ඔවුන්ගෙන් එක් කෙනෙක් ම ය, ඔබත් ගලීලයෙක් ම ය”යි පේදුරුට කී හ.</verse>
				<verse number="71">එහෙත් ඔහු, “ඔබ කියන ඒ මනුෂ්‍යයා මම නාඳුනමි”යි කියමින් තමාට ම සාප කරගන්නට ද දිවුරන්නට ද පටන්ගත්තේ ය.</verse>
				<verse number="72">එකෙණෙහි ම කුකුළා දෙ වන වර හැඬලී ය. පේදුරු ද, “කුකුළා දෙ වරක් හඬලන්නට පළමු, ‘ඔහු නාඳුනමි’යි ඔබ තෙ වරක් මා ගැන කියන්නෙහි ය”යි ජේසුස් වහන්සේ තමාට පැවසූ කීම සිහි කොට මහ හඬින් හැඬී ය.</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">පහන් වූ කෙණෙහි ම නායක පූජකවරු, ප්‍රජා මූලිකයන් ද විනයධරයන් ද මුළු ශ්‍රේෂ්ඨාධිකරණය ද සමඟ මන්ත්‍රණය කොට ජේසුස් වහන්සේට විලංගුදමා ගෙන ගොස්, පිලාත් හට භාර දුන්හ.</verse>
				<verse number="2">පිලාත් ද, “ජුදෙව්වරුන්ගේ රජ ඔබ දැ”යි උන් වහන්සේගෙන් ප්‍රශ්න කෙළේ ය. උන් වහන්සේ උත්තර දෙමින්, “එසේ කියන්නේ ඔබ ය”යි වදාළ සේක.</verse>
				<verse number="3">නායක පූජකවරු බොහෝ දේ ගැන උන් වහන්සේට චෝදනා කළහ.</verse>
				<verse number="4">පිලාත් නැවත කතා කොට, “ඔබ කිසි ම පිළිතුරක් දෙන්නේ නැද් ද? බලන්න, මොවුහු ඔබට කෙතරම් චෝදනා කරත් දැ”යි උන් වහන්සේට කී ය.</verse>
				<verse number="5">එහෙත්, ජේසුස් වහන්සේ ඉන්පසු කිසි පිළිතුරක් නුදුන් සේක. ඒ ගැන පිලාත් ද මවිත විය.</verse>
				<verse number="6">මංගල්‍යයේ දී සෙනඟ ඉල්ලා සිටින හිරකරුවෙකු නිදහස් කරදීම, පිලාත්ගේ සිරිත විය.</verse>
				<verse number="7">කැරලි කෝලාහල කොට, මිනී මැරීමේ වරදට හිර කරනු ලැබූ කැරලිකරුවන් අතර බරබ්බස් නම් කෙනෙක් විය.</verse>
				<verse number="8">සමූහයා එක් ව ගොස්, පෙරසිරිත ඉටු කරන ලෙස පිලාත්ගෙන් අයැදින්නට පටන්ගත්හ.</verse>
				<verse number="9">පිලාත් උත්තර දෙමින්, “මා ජුදෙව්වරුන්ගේ රජු නිදහස් කර දෙනවාට ඔබ කැමැති දැ”යි ඔවුන්ගෙන් ඇසී ය.</verse>
				<verse number="10">එසේ කෙළේ, නායක පූජකවරුන් ඊර්ෂ්‍යාවෙන් උන් වහන්සේ පාවා දුන් බව ඔහුට වැටහී තිබුණු බැවිනි.</verse>
				<verse number="11">එහෙත්, උන් වහන්සේ වෙනුවට බරබ්බස් නිදහස් කර දෙන ලෙස ඉල්ලන්න නායක පූජකවරු ජනයා පෙළඹවූ හ.</verse>
				<verse number="12">පිලාත් ඔවුන්ට නැවත පිළිතුරු දෙමින්, “එසේ නම්, ‘ජුදෙව්වරුන්ගේ රජ ය’යි ඔබ කියන මොහු ගැන කුමක් කරන්න දැ”යි ඇසී ය.</verse>
				<verse number="13">“කුරුසියෙහි ඇණ ගසන්නැ”යි ඔව්හු යළිත් මොරගැසූ හ.</verse>
				<verse number="14">එකල පිලාත්: “කිමෙක් ද? මොහු කුමන අපරාධයක් කෙළේ දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. එහෙත් ඔව්හු “කුරුසියෙහි ඇණ ගසන්නැ”යි වැඩි වැඩියෙන් මොරගැසූ හ.</verse>
				<verse number="15">පිලාත් ජනතාව සතුටු කරන්නට කැමැති ව, බරබ්බස් ඔවුන්ට නිදහස් කර දී, ජේසුස් වහන්සේට කසයෙන් තළවා, කුරුසියෙහි ඇණ ගසනු පිණිස භාර දුන්නේ ය.</verse>
				<verse number="16">මුර සෙබළෝ උන් වහන්සේ ප්‍රෙතෝරියම් නම් රජ වාසලට ගෙන ගොස් මුළු සේනාංකය රැස් කරවූ හ.</verse>
				<verse number="17">ඔව්හු උන් වහන්සේට නීල-රක්ත වස්ත්‍රයක් හඳවා, කටු කිරුළක් ගොතා උන් වහන්සේගේ හිස මත තබා,</verse>
				<verse number="18">“ජුදෙව්වන්ගේ රජුනි, සැරදේ!” කියා උන් වහන්සේට ආචාර කරන්න පටන් ගත්හ.</verse>
				<verse number="19">ඔව්හු බට දණ්ඩකින් උන් වහන්සේගේ හිසට ගසා, උන් වහන්සේට කෙළ ගසා, දණ නමා උන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටුණාහ.</verse>
				<verse number="20">උන් වහන්සේට ගැරහුම් කළ පසු ඔව්හු නීල-රක්ත වස්ත්‍රය ගලවා, උන් වහන්සේගේ ම ඇඳුම් අන්දවා, කුරුසියෙහි ඇණ ගසනු පිණිස ගෙන ගියහ.</verse>
				<verse number="21">අලෙක්සන්දර්ගේ ද රූපස්ගේ ද පිය වූ පිටිසරින් ආ සිරේනියේ සීමොන් නම් මඟියෙකුට උන් වහන්සේගේ කුරුසිය උසුලාගෙන යන්න ඔව්හු බල කළහ.</verse>
				<verse number="22">ඔව්හු කපාලපිටිය යන අර්ථ ඇති ‘ගොල්ගොතා’ නම් තැනට උන් වහන්සේ ගෙන ගියහ.</verse>
				<verse number="23">සුවඳලාටු මුසු මුද්‍රික පානය උන් වහන්සේට දෙන ලද්දේ ය. එහෙත්, උන් වහන්සේ එය නොපිළිගත් සේක.</verse>
				<verse number="24">ඔව්හු උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගසා, උන් වහන්සේගේ ඇඳුම් තම තමන් අතර බෙදාගනිමින්, එක් එක්කෙනා කුමක් ගන්න දැ යි බලන පිණිස ඒවා ගැන දාදු දැමූ හ.</verse>
				<verse number="25">ඔවුන් උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගැසුවේ හිරු උදා වී තුන් පැයකට පසුව ය.</verse>
				<verse number="26">“ජුදෙව්වරුන්ගේ රජ ය”යි උන් වහන්සේ පිළිබඳ චෝදනා පුවරුව ලියා තිබිණි.</verse>
				<verse number="27">තවද, ඔව්හු සොරුන් දෙදෙනෙකු එක් කෙනෙකු දකුණු පසෙහි ද එක් කෙනෙකු වම් පසෙහි ද උන් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගැසූ හ.</verse>
				<verse number="28">‘උන් වහන්සේ අපරාධකරුවන් සමඟ ගණන්ගනු ලැබූ සේක’ යන ශුද්ධ ලියවිල්ල මෙසේ ඉටු විය.</verse>
				<verse number="29">මඟ යන අය හිස් වන වනා උන් වහන්සේට අපහාස කරමින්, “හහා! දේව මාලිගාව වනසාදමා තෙදිනකින් එය ගොඩනඟන</verse>
				<verse number="30">ඔබ ම, ගැළවී කුරුසියෙන් බැස එන්නැ”යි කී හ.</verse>
				<verse number="31">එලෙස ම නායක පූජකවරු විනයධරයන් සමඟ තම තමන් අතර උන් වහන්සේට කවටකම් කරමින්, “මොහු අනුන් ගැළවී ය, එහෙත් තමා ම ගළවාගන්නට මොහුට නොහැකි ය.</verse>
				<verse number="32">අප විසින් දැක අදහන පිණිස, ඉශ්රායෙල්හි රජ වන ක්‍රිස්තුස් දැන් කුරුසියෙන් බසින්නැ”යි කී හ. උන් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබුවෝ ද උන් වහන්සේට ගැරහුම් කළහ.</verse>
				<verse number="33">මද්දහනේ දී රට පුරා අන්ධකාරයක් පහළ විය. එය සවස තුන වන තෙක් පැවතිණි.</verse>
				<verse number="34">සවස තුනට ජේසුස් වහන්සේ, “එලොයි, එලොයි, ලාමා සබහ්(ත්)තානි” කියා මහ හඬින් මොරගැසූ සේක. එහි අර්ථය, “මාගේ දෙවි‍යනි, මාගේ දෙවි‍යනි, ඔබ මා අත් හැරියේ මක්නිසා ද?” යනුයි.</verse>
				<verse number="35">බලා සිටිය අයගෙන් සමහරෙක් ඒ අසා, “අන්න, ඔහු එලියාට හඬගසයි” කී හ.</verse>
				<verse number="36">කෙනෙක් දිව ගොස් මූදුහත්තක් විනාකිරෙහි පොඟවා, බට ලීයක ගසා උන් වහන්සේට බොන්න දී, “ටිකක් ඉන්න, මොහු බස්වාලීමට එලියා එන්නේ ද කියා බලමු”යි කී හ.</verse>
				<verse number="37">ජේසුස් වහන්සේ මහ හඬක් නඟා අවසන් හුස්ම මුදා හැරිය සේක.</verse>
				<verse number="38">එවිට දේව මාලිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකට ඉරී ගියේ ය.</verse>
				<verse number="39">උන් වහන්සේ අබිමුවෙහි සිටි ශතාධිපතියා උන් වහන්සේ මෙසේ අවසන් හුස්ම හළ බව දුටු කල, “සැබැවින් ම මේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ම ය”යි කී ය.</verse>
				<verse number="40">ස්ත්‍රීහු ද දුරින් බලා සිටියහ. ඔවුන් අතර, ගලීලයේ සිටිය දී උන් වහන්සේ පිරිවරා ගොස් උපස්ථාන කළ මග්දලායේ මරියාත්, කුඩා ජාකොබ්ගේ ද ජෝසෙප්ගේ ද මව වූ මරියාත්, සලෝමිත්,</verse>
				<verse number="41">උන් වහන්සේ සමඟ ජෙරුසලමට ආ බොහෝ කාන්තාවෝත් සිටියහ.</verse>
				<verse number="42">එය සබතට පෙර සූදානම් වීමේ දිනය වූ බැවින්, හිරු බැස ගිය කල,</verse>
				<verse number="43">ජුදා මන්ත්‍රණ සභාවෙහි ගරුතර සාමාජිකයෙකු වන, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන අපේක්ෂාවෙන් සිටි, අරිමාතියේ ජෝසෙප් එහි පැමිණ, ධෛර්ය ගෙන, පිලාත් වෙත ගොස් ජේසුස් වහන්සේගේ මෘත දේහය ඉල්ලා සිටියේ ය.</verse>
				<verse number="44">පිලාත් ද උන් වහන්සේ එතරම් ඉක්මනින් මියගිය බව අසා පුදුම වී, ශතාධිපතියා කැඳවා, “උන් වහන්සේ මේ ඉක්මනින් මළ සේක් දැ”යි ඇසී ය.</verse>
				<verse number="45">ඒ බව ශතාධිපතියාගෙන් සහතික ලෙස දැනගත් පසු පිලාත් තෙමේ ජෝසෙප්ට මෘත දේහය බාර දුන්නේ ය.</verse>
				<verse number="46">ඔහු හණ රෙද්දක් මිලට ගෙන, උන් වහන්සේ පහතට බා, ඒ රෙද්දෙන් ඔතා, පර්වතයෙහි කණින ලද සොහොන් ගැබක තබා, දොරකඩට ගලක් පෙරළා තැබී ය.</verse>
				<verse number="47">මග්දලායේ මරියා ද ජෝසෙප්ගේ මව වූ මරියා ද උන් වහන්සේ තැන්පත් කළ ස්ථානය බලාගත්හ.</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">සබත් දින ගෙවුණු පසු මග්දලායේ මරියා ද ජාකොබ්ගේ මව වූ මරියා ද සලෝමි ද ගොස්, උන් වහන්සේ ආලේප කරන පිණිස සුවඳ ද්‍රව්‍ය මිලට ගත්හ.</verse>
				<verse number="2">ඔව්හු සතියේ පළමු වන දා පාන්දර, හිරු උදා වූ විගස ම, සොහොන් ගේ ළඟට ආහ.</verse>
				<verse number="3">ඔව්හු, “අපට සොහොන් ගෙයි දොරකඩින් ගල ඉවතට පෙරළා දෙන්නේ කවරෙක් දැ”යි ඔවුනොවුන් අතර විමසූ හ.</verse>
				<verse number="4">හොඳින් බැලූ කල, ඒ ගල අති විශාල එකක් වුව ද අහකට පෙරළා තිබෙනු ඔව්හු දුටුවෝ ය.</verse>
				<verse number="5">එකල ඔව්හු සොහොන් ගෙට පිවිස, සුදු සළුවක් හැඳගත් තරුණයෙකු දකුණු පස ඉඳගෙන සිටිනු දැක භීත වූ හ.</verse>
				<verse number="6">ඔහු ඔවුන් අමතා, “බිය නොවන්න; ඔබ සොයන්නේ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ නාසරෙත්හි ජේසුස් වහන්සේ ය; උන් වහන්සේ උත්ථාන වූ සේක; උන් වහන්සේ මෙහි නැත; මේ බලන්න, ඔවුන් උන් වහන්සේ තැන්පත් කළ ස්ථානය;</verse>
				<verse number="7">යන්න, ඔබට කී ලෙස ම උන් වහන්සේ ඔබට කලින් ගලීලයට වඩිනා බවත්, එහි දී ඔබ උන් වහන්සේ දක්නා බවත්, ශ්‍රාවකයන්ට ද පේදුරුට ද දන්වන්නැ”යි කී ය.</verse>
				<verse number="8">ඔව්හු කම්පිත ව, විස්මිත ව සොහොන් ගෙයින් පිට වී පලා ගියහ. තවද, ඔව්හු භීත ව සිටි බැවින්, කිසිවෙකුට කිසිවක් නොකී හ.</verse>
				<verse number="9">සතියේ පළමු වන දා අලුයම ජේසුස් වහන්සේ නැඟිට වදාළ කල, උන් වහන්සේ තමන් විසින් දුෂ්ටාත්මයන් සත් දෙනෙකු දුරු කරනු ලැබූ මග්දලායේ මරියාට මුලින් ම දර්ශනය වූ සේක.</verse>
				<verse number="10">ඈ ගොස්, අඬමින් වැලපෙමින් සිටි උන් වහන්සේගේ හිතවතුන්ට එපවත් සැළ කළා ය.</verse>
				<verse number="11">එහෙත්, උන් වහන්සේ ජීවමාන ව සිටින බව ද ඇයට දර්ශනය වූ බව ද ඇසූ විට ඔව්හු එය විශ්වාස නො කළහ.</verse>
				<verse number="12">ඉක්බිති ඔවුන්ගෙන් දෙදෙනෙකු පිටිසරට යන කල උන් වහන්සේ අන් විලසකින් ඔවුන්ට දර්ශනය වූ සේක.</verse>
				<verse number="13">ඒ දෙදෙන ආපසු ගොස් අනික් අයට එපවත් දැන්වූ හ. ඔව්හු ඔවුන් කී දෙය ද විශ්වාස නො කළහ.</verse>
				<verse number="14">පසුව ජේසුස් වහන්සේ, එකොළොස් දෙනා ආහාර වළඳමින් සිටිය දී ඔවුන්ට ද දර්ශනය වී, උන් වහන්සේ උත්ථාන වූ පසු තමන් වහන්සේ දුටුවන් කීදේ ඔවුන් නොඇදහූ නිසා, ඔවුන්ගේ අවිශ්වාසය හා සිත් දැඩි කම ගැන ඔවුන්ට දොස් පැවරූ සේක.</verse>
				<verse number="15">උන් වහන්සේ ඔවුන් අමතා, “ලොව පුරා ගොස් සකල සත්ත්වයා හට සුබ අස්න දේශනා කරන්න;</verse>
				<verse number="16">අදහා බව්තීස්ම-ස්නාපනය ලබන තැනැත්තේ ගැළවීම ලබන්නේ ය; එහෙත්, අදහා නොගත් තැනැත්තේ වරදකරු යයි තීන්දුව ලබන්නේ ය.</verse>
				<verse number="17">අදහන්නන් ඇසුරු කොටගත් හාස්කම් මේ ය: ඔව්හු මාගේ නාමයෙන් දුෂ්ටාත්ම දුරු කරති; අමුතු භාෂාවලින් කතා කරති;</verse>
				<verse number="18">සර්පයන් අතින් අල්ලාගනිති; යම් මාරක විසක් බීවත් ඉන් කිසි අනතුරකට පත් නොවෙති; රෝගීන් පිට අත් තැබූ විට, ඔව්හු සුවය ලබති”යි වදාළ සේක.</verse>
				<verse number="19">මෙසේ ජේසුස් ස්වාමීන් වහන්සේ ඔවුන්ට කතා කළ පසු, ස්වර්ගයට ඔසවාගනු ලැබ, දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන් ගත් සේක.</verse>
				<verse number="20">ඔව්හු නික්ම ගොස් සෑම තැන ම දේශනා කළහ. සමිඳාණන් වහන්සේ ද ඔවුන් සමඟ ක්‍රියා කරමින්, ඔවුන් අතර සිදු කළ හාස්කම් මඟින් ඒ දේශනය සහතික කර වදාළ සේක. ඔව්හු මෙකී අවවාදානුශාසනා පේදුරුට ද ඔහුගේ සහචරයන්ට ද සැකෙවින් පැවසූ හ. ඉක්බිති ජේසුස් වහන්සේ ම සදාතන ගැළවීම පිළිබඳ සුවිශුද්ධ, අජරාමර පණිවුඩය ඔවුන් ලවා පෙරදිග සිට අපරදිග දක්වා යවා වදාළ සේක. ආමෙන්‍.</verse>
			</chapter>
		</book>
		<book number="42">
			<chapter number="1">
				<verse number="1">ශ්‍රීමත් තියෝපිලස් තුමෙ‍නි, අප අතර ඉටු වී ඇති සිද්ධීන් අලළා කථා වස්තුවක් සම්පාදනය කිරීමට බොහෝ දෙනෙකු උත්සාහ කර ඇත.</verse>
				<verse number="2">ඔවුන් එසේ කර ඇත්තේ ඒ සිද්ධීන් මුල සිට ම සියැසින් දුටු අය හා දහම් පණිවුඩය දෙසූ අය අපට භාර දුන් කරුණු අනුව ය.</verse>
				<verse number="3">එබැවින්, මුල සිට ම සියල්ල තතු පරිදි විමසා බැලූ මට ද ඔබ උදෙසා විධිමත් වෘත්තාන්තයක් ලිවීම මැනවැ යි සිතිණි.</verse>
				<verse number="4">මා එසේ ලියන්නේ, ඔබ තුමාණන්ට උගන්වා ඇති කරුණුවල නියම සත්‍යය පහදා දෙන පිණිස ය.</verse>
				<verse number="5">ජුදාහි රජ වූ හෙරොද්ගේ කාලයෙහි අබියාගේ පේරුවට අයත් සෙකරියස් නම් එක් පූජක නමක් විය. ඔහුට ආරොන්ගේ පෙළපතෙන් බිරිඳක් වූවා ය. ඇගේ නම එලිසබෙත් ය.</verse>
				<verse number="6">මේ යුවල සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග නිවැරදි ව පිළිපදිමින් දෙවියන් වහන්සේ අබිමුවෙහි දැහැමින් විසූ හ.</verse>
				<verse number="7">එලිසබෙත් වඳ ව සිටි බැවින් ඔවුන්ට දරුසම්පතක් නො වී ය. ඇරත් ඒ දෙපොළ වයස් ගත ව සිටියහ.</verse>
				<verse number="8">සෙකරියස්ගේ පේරුවේ අයට දෙවියන් වහන්සේ ඉදිරියෙහි පූජක කටයුතු කරන අවස්ථාව පැමිණි විට,</verse>
				<verse number="9">පූජක නිල පිළිවෙළින් සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානයට පිවිස සුවඳ දුම් පූජා කිරීමේ වාරය, දාදු දැමීමෙ‍න්, සෙකරියස්ට පැවරිණි.</verse>
				<verse number="10">සුවඳ දුම් පූජා පවත්වන වේලෙහි මුළු පිරිස පිටත යාච්ඤා කරමින් උන්හ.</verse>
				<verse number="11">එවිට දුම් පූජාසනයට දකුණු පසින් සමිඳාණන් වහන්සේගේ දූතයෙක් ඔහුට දර්ශනය විය.</verse>
				<verse number="12">සෙකරියස් ඔහු දැක කැළඹී බියපත් විය.</verse>
				<verse number="13">දේව දූතයා ඔහුට කතා කොට, “සෙකරියස්, බිය නොවන්න. මන්ද, ඔබේ යාච්ඤාව අසනු ලැබී ය. ඔබේ බිරිඳ වන එලිසබෙත් ඔබගෙන් පුතෙකු ලබන්නී ය. ඔහුට ජොහන් යයි නම් තබන්න.</verse>
				<verse number="14">සතුට හා සොම්නස ඔබට ඇති වේ. බොහෝ දෙන ඔහුගේ උත්පත්තිය නිමිත්තෙන් ප්‍රීති වන්නාහ.</verse>
				<verse number="15">මන්ද, ඔහු සමිඳාණන් වහන්සේ අබිමුවෙහි ශ්‍රේෂ්ඨ වන්නේ ය. ඔහු මිදියුස වත්, මත්පැන් වත් නොබොන්නේ ය. මව්කුස සිට ම ඔහු ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වන්නේ ය.</verse>
				<verse number="16">ඔහු ඉශ්රායෙල්වරුන් බොහෝ දෙනෙකු ඔවුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ වෙත හරවන්නේ ය.</verse>
				<verse number="17">ඔහු මවුපියන් හා දරුවන් සමඟි කරවන පිණිස ද, නොදැමුණු ජනයන් දමිටුන්ගේ ප්‍රඥාවට හරවන පිණිස ද, සැදී පැහැදී සිටින සෙනඟක් සමිඳාණන් වහන්සේට සූදානම් කර දෙන පිණිස ද, එලියාගේ ආත්මානුභාවයෙන් හා බලයෙන් උන් වහන්සේට පෙරටුව යන්නේ ය”යි කී ය.</verse>
				<verse number="18">එවිට සෙකරියස්, දේව දූතයා අමතමින්, “මා මෙ‍ය දැනගන්නේ කෙසේ ද? මම මහල්ලෙක්මි; මාගේ භාර්යාව ද වයස්ගත ව සිටී ය”යි කී ය.</verse>
				<verse number="19">දේව දූතයා පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේ අබිමුවෙහි සේවා කරන ගාබ්‍රියෙල් මම ය; මා එවන ලද්දේ ඔබ සමඟ කතා කරන්නටත්, මේ සුබ ආරංචිය ඔබට පවසන්නටත් ය.</verse>
				<verse number="20">බලන්න. නියම කාලයෙහි ඉටුවන්න යන, මා කී දේ ඔබ අවිශ්වාස කළ බැවින්, මේ කාරණා සිදු වන දවස දක්වා ඔබ කතා කළ නොහැකි ව නිහඬ වනු ඇතැ”යි කී ය.</verse>
				<verse number="21">සෙකරියස් එන තෙක් බලා සිටි සමූහයා ඔහු ශුද්ධස්ථානයෙහි පමා වීම ගැන මවිත වූ හ:</verse>
				<verse number="22">ඔහු පිට වී ආ කල ඔවුන් සමඟ කතා කිරීමට අපොහොසත් විය. ඔහු පූජා ස්ථානයෙහි යම් කිසි දර්ශනයක් දක්නට ඇතැ යි ඔව්හු තේරුම්ගත්හ. ඔහු ද අතින් සංඥා කරමින් ගොළුගැහී සිටියේ ය.</verse>
				<verse number="23">සේවා කාලය නිම වූ පසු ඔහු සිය නිවෙසට ගියේ ය.</verse>
				<verse number="24">මඳ කලකට පසු ඔහුගේ බිරිඳ වන එලිසබෙත් ගැබ්ගෙන, පස් මසක් රහසිගත ව වෙසෙමින්,</verse>
				<verse number="25">“ලෝකයා අතර පැවති මාගේ නින්දාව පහ කරනු වස් සමිඳාණන් වහන්සේ මෙ‍කල මා දෙස කරුණාවෙන් බලා මේ දේ කළ සේකැ”යි කීවා ය.</verse>
				<verse number="26">සවැනි මස, ගාබ්‍රියෙල් නම් දේව දූතයා දෙවියන් වහන්සේ විසින් ගලීලයේ නාසරෙත් නම් නුවර විසූ,</verse>
				<verse number="27">දාවිත් රජ පරපුරෙන් පැවත එන ජෝසෙප් නම් මනුෂ්‍යයෙකු හට විවාහ ගිවිසුම් දී සිටි කන්‍යාවක වෙත යවන ලදී. ඒ කන්‍යාවගේ නම මරියා ය.</verse>
				<verse number="28">දේව දූතයා ඈ සිටි තැනට පැමිණ, “විපුල ප්‍රසාදලත් උත්තමිය, ඔබට මංගල වේ; සමිඳාණන් වහන්සේ ඔබ සමඟ ය”යි කී ය.</verse>
				<verse number="29">එහෙත්, ඈ ඒ වදන් අසා අතිශයින් කැළඹී මේ කෙබඳු ආචාරයක් දැ යි සිත සිතා සිටියා ය.</verse>
				<verse number="30">දේව දූතයා ඈට කතා කොට, “මරියාණනි, බිය නොවන්න, ඔබ දෙවියන් වහන්සේගෙන් වරප්‍රසාදය ලද්දෙහි ය.</verse>
				<verse number="31">මේ බලන්න, ඔබ පිළිසිඳගෙන පුතෙකු ලබන්නෙහි ය; උන් වහන්සේට ජේසුස් යන නාමය තබන්න.</verse>
				<verse number="32">“උන් වහන්සේ ශ්‍රේෂ්ඨ වන සේක, පරමෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක; උන් වහන්සේගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය දෙවි ස්වාමීන් වහන්සේ උන් වහන්සේට ප්‍රදානය කරන සේක;</verse>
				<verse number="33">උන් වහන්සේ ජාකොබ්ගේ වංශය කෙරෙහි සදහට ම රජකම් කරන සේක; උන් වහන්සේගේ රාජ්‍යය කෙළවරක් නොදක්නේ ය”යි කී ය.</verse>
				<verse number="34">එවිට මරිය තුමී දේව දූතයාට කතා කොට, “මට පුරුෂයෙකු නැති බැවින් මෙ‍වැන්නක් කෙසේ විය හැකි දැ”යි ඇසුවා ය.</verse>
				<verse number="35">දේව දූතයා ඈට උත්තර දෙමින්, “ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පහළ වන සේක; පරමෝත්තමයාණන්ගේ ආනුභාවය ද ඔබ වසාගන්නේ ය. එහෙයින් උපදින පරිශුද්ධ දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක.</verse>
				<verse number="36">බලන්න, ඔබේ ඥාතිවරිය වන එලිසබෙත් ඇගේ මහලු වයසේ දී පුතෙකු පිළිසිඳගත්තා ය. වඳ යයි කී ඇයට දැන් සවැනි මාසය ය.</verse>
				<verse number="37">මක්නිසා ද, දෙවියන් වහන්සේට නොකළ හැකි කිසිවක් නැතැ”යි කීවේ ය.</verse>
				<verse number="38">මරිය තුමී කතා කරමින්, “බලන්න, මම සමිඳාණන් වහන්සේගේ දාසිය වෙමි; ඔබ පැවසූ ලෙස ම මට ඉටු වේ වා”යි කීවා ය. එවිට දේව දූතයා ඈ කෙරෙන් වෙන් ව ගියේ ය.</verse>
				<verse number="39">දින ගණනකට පසු මරිය තුමී නැඟිට ජුදා කඳුකරයෙහි නුවරකට යුහු ව ගොස්,</verse>
				<verse number="40">සෙකරියස්ගේ ගෙට ඇතුළු වී, එලිසබෙත් හට ආචාර කළා ය.</verse>
				<verse number="41">එලිසබෙත් මරිය තුමියගේ ආචාර බස් ඇසූ කල ඇගේ කුසෙහි දරුවා ඉපිලෙන්නට වන. එවිට එලිසබෙත් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව,</verse>
				<verse number="42">මහ හඬින් උදන් අනමින්, “ඔබ වනිතාවන් අතර අතිශයින් ආශීර්වාද ලද්දී ය. ඔබ කුස ඔත් දරු ඵලය ද ආශීර්වාද ලද්දේ ය.</verse>
				<verse number="43">මාගේ සමිඳාණන් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණීමට තරම් මම කවරෙක් ද?</verse>
				<verse number="44">මක්නිසා ද ඔබේ ආචාර හඬ මා සවන් ගත වූ කෙණෙහි ම මා කුසෙහි දරුවා ප්‍රීතියෙන් ඉපිලී ගියේ ය.</verse>
				<verse number="45">සමිඳාණන් වහන්සේගේ නාමයෙන් තමන් හට දුන් පොරොන්දුව ඉටුවන්නේ ම යයි විශ්වාස කළ තැනැත්තී භාග්‍යවන්ත ය”යි කීවා ය.</verse>
				<verse number="46">එවිට මරිය තුමී මෙ‍සේ උදන් ඇනුවා ය: “මාගේ හද සමිඳුන් උසස් ලෙස පසසයි,</verse>
				<verse number="47">මාගේ ආත්මය මා මිදුම්කාර දෙවිඳුන් ගැන උදන් අනයි;</verse>
				<verse number="48">
					මක්නිසා ද, එතුමාණෝ සිය දාසියගේ දීනතාව කුළුණු පාමින් සලකා වදාළ සේක.
					හැම පරපුරක් ම මෙ‍තැන් සිට, භාග්‍යවන්තී ය’යි මට කියනු ඇත.
				</verse>
				<verse number="49">පරාක්‍රමයාණෝ මා උදෙසා මහත් දේ කළ සේක. ‘පරිශුද්ධයාණෝ’ යනු එතුමන්ගේ නාමය ය.</verse>
				<verse number="50">එතුමන්ගේ දයාව සිය බැතිමතුන් කෙරේ, පරපුරෙන් පරපුරට පැතිරේ.</verse>
				<verse number="51">සිය බාහුවෙන් එතුමාණෝ විකුම් පා, උඩඟු උදම් සිතැත්තන් විසුරුවා හැර,</verse>
				<verse number="52">
					මහ නරපතීන් සිය සිහසුන්වලින් පහත හෙළා, දීනයන් ඉහළ නංවා උසස් කළ සේක.
				</verse>
				<verse number="53">සාගිනි වූවන් යහපත් දෙයින් සතප්වා, ධනවතුන් හිස් අතින් හරවා යැවූ සේක.</verse>
				<verse number="54">අප පියවරුන් වූ, ආබ්‍රහම්ට හා එම පරපුරට,</verse>
				<verse number="55">
					සදහට ම පොරොන්දු වූ දයාව සිහි කරමින් සිය සේවක ඉශ්රායෙල් සෙනඟ හට, පිහිට වූ සේක.”
				</verse>
				<verse number="56">මරිය තුමී, එලිසබෙත් සමඟ තෙමසක් පමණ නැවතී සිට සිය නිවෙසට පෙරළා ගියා ය.</verse>
				<verse number="57">නියම කාලය පැමිණි විට එලිසබෙත් තොමෝ පුත්‍රයෙකු ලැබුවා ය.</verse>
				<verse number="58">ඇගේ අසල්වැසියෝ ද නෑයෝ ද සමිඳාණන් වහන්සේ ඈ කෙරෙහි මහා දයානුකම්පාවක් දැක්වූ බැව් අසා ඇය සමඟ ප්‍රීති වූ හ.</verse>
				<verse number="59">තවද, අට වන දා චර්මඡේදන පිළිවෙත පිණිස ඔව්හු දරුවා ගෙනැවිත් සිය පියාගේ නාමය අනුව ඔහුට සෙකරියස් යයි නම් තබන්නට සැරසුණහ.</verse>
				<verse number="60">එහෙත්, ඔහුගේ මව කතා කරමින්, “එසේ නොවේ; ඔහුට ජොහන් යන නාමය තැබිය යුතු ය”යි කීවා ය.</verse>
				<verse number="61">“ඔබේ නෑයන් අතර ඒ නාමය ඇත්තෙක් නැතැ”යි ඔව්හු ඈට කී හ.</verse>
				<verse number="62">ඔහුගේ පියා ඔහුට කුමන නමක් තබන්න කැමැති දැ යි දැනගන්නා පිණිස ඔව්හු ඔහුට සංඥා කළහ.</verse>
				<verse number="63">ඔහු ලියන ලෑල්ලක් ඉල්ලාගෙන, “ඔහුගේ නම ජොහන් ය”යි ලිවී ය. සියල්ලෝම මවිත වූ හ.</verse>
				<verse number="64">එකෙණෙහි ම ඔහුගේ කතා ශක්තිය ලැබිණි; ඔහු දෙවියන් වහන්සේ පසසමින් කතා කෙළේ ය.</verse>
				<verse number="65">අසල්වැසි සියල්ලන් කෙරෙහි බිය පැමිණියේ ය. මෙ‍පවත් සියල්ල ජුදයේ කඳු රට පුරා පතළ විය.</verse>
				<verse number="66">ඒ ඇසූ හැම දෙන ම ඒ සියල්ල සිය සිත්හි තබාගෙන, “ඉතින් මේ දරුවා කෙබඳු කෙනෙක් වන්නේ දැ”යි ඇසූ හ. මක්නිසා ද, සමිඳාණන් වහන්සේගේ හස්තය ඔහු කෙරෙහි විය.</verse>
				<verse number="67">ජොහන්ගේ පිය වූ සෙකරියස් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව දිවැස් වැකි පවසමින් මෙ‍සේ කී ය:</verse>
				<verse number="68">“ඉශ්රායෙල්හි දෙවි සමිඳාණන්, සිය සෙනඟ වෙත බලා කරුණාවෙන්, විමුක්තිය සලසා දුන් බැවින්, එතුමන් හට තුති පැසසුම් වේ වා!</verse>
				<verse number="69">සිය දාසයා වූ දාවිත්ගේ වංශයෙන් අප හට, බලවත් මිදුම්කාරයෙකු එතුමාණෝ එවූ සේක.</verse>
				<verse number="70">එසේ වූයේ, පෙර ශුද්ධ දිවැසිවරුන්ගේ මුවින් පැවසූ ලෙස ය.</verse>
				<verse number="71">රුපුන්ගෙන් හා අපට වෙර බැන්දවුන්ගෙන්, අප මුදාලන පිණිස, එතුමාණෝ එය කළ සේක;</verse>
				<verse number="72">මෙ‍සේ, අප පියවරුන්ට කළ දයා-පොරොන්දුව ඉටු කර, සිය ශුද්ධ ගිවිසුම සිහි කළ සේක.</verse>
				<verse number="73">එය, අප පිය ආබ්‍රහම්ට එතුමන් දිවුළ දිවුරුම ය.</verse>
				<verse number="74">මෙ‍සේ කෙළේ, අප සතුරන්ගෙන් මිදීම ලබමින්, නොබිය ව එතුමන්ගේ සේවයේ යෙදෙමින්,</verse>
				<verse number="75">එතුමන් අබිමුවෙහි බැතියෙන් හා දැහැමින්, දිවි ඇති තෙක් විසීමට ය.</verse>
				<verse number="76">
					ළදරුව, ඔබ සමිඳුන්ට පෙරටුව යමින්, එතුමන් මඟ පිළියෙළ කරන බැවින්, ‘මෙ‍හෙසුරු දිවැසිවර’ යන නම ඔබට දෙනු ඇත.
				</verse>
				<verse number="77">එතුමන්ගේ සෙනඟට පව් කමාවෙන් ලැබෙන ගැළවීම, ඔබ ඔවුන්ට දන්වන්නෙහි ය.</verse>
				<verse number="78">අප දෙවිඳාණෝ මෘදු ය, දයාවන්ත ය. අප කෙරෙහි අහසින් ළහිරු රැස් උදා කරවන සේක.</verse>
				<verse number="79">
					අඳුරේ හා මරණ සෙවණේ සිටින්නවුන් කෙරෙහි, එලෙසින් එළිය උදා කරවමින් සෙත් මඟ යාමට අපට මඟපෙන්වන සේක.”
				</verse>
				<verse number="80">දරුවා වැඩී, ආත්මානුභාවයෙන් බලවත් ව තමන් ඉශ්රායෙල්ට ප්‍රකාශවන දිනය දක්වා පාළුකරයෙහි සිටියේ ය.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">තවද එසමයෙහි, අධිරාජ්‍යයේ සියලු වැසියන්ගේ සංගණනයක් ගැනීමට අගොස්තුස් අධිරාජයා වෙතින් නියෝගයක් නික්මිණි.</verse>
				<verse number="2">මේ වනාහි කුරේනියස් සිරියාවේ ආණ්ඩුකාරයා ව සිටිය දී කරන ලද පළමු වන සංගණනය යි.</verse>
				<verse number="3">සියල්ලෝ ලියාපදිංචි වනු පිණිස තම තමන්ගේ නුවරවලට ගියහ.</verse>
				<verse number="4">ජෝසෙප් ද දාවිත්ගේ වංශය හා පෙළපතට අයිති වූයෙන්, ගලීලයේ නාසරෙත් නුවරින් නික්ම ජුදයේ බෙත්ලෙහෙම් නම් දාවිත්ගේ නුවර බලා ගියේ ය.</verse>
				<verse number="5">ඔහු ගියේ, තමාට විවාහ ගිවිසුම් දුන්, ගැබ්ගෙන සිටි මරිය තුමී සමඟ ලියාපදිංචි වන පිණිස ය.</verse>
				<verse number="6">තවද, ඔවුන් එහි සිටිය දී ඇගේ ප්‍රසව කාලය සම්පූර්ණ විය.</verse>
				<verse number="7">ඈ කුලුඳුල් පුත්‍රයා බිහි කොට රෙදිවලින් ඔතා, නවාතැන්ගෙයි ඉඩකඩ නොතිබුණු බැවින්, ගව ඔරුවක බෑවුවා ය.</verse>
				<verse number="8">තවද, එම පළාතෙහි එඬේරු රෑ යාමයෙහි සිය බැටළු රැළ රකිමින් පිට්ටනියෙහි සිටියහ.</verse>
				<verse number="9">එවිට සමිඳාණන් වහන්සේගේ දූතයෙක් ඔවුන්ට දර්ශනය විය: සමිඳාණන් වහන්සේගේ තේජශ්‍රීය ඔවුන් සිසාරා බැබළිණි; ඔව්හු අතිශයින් බියපත් වූ හ.</verse>
				<verse number="10">එහෙත් දේව දූතයා ඔවුන්ට කතා කොට, “බිය නොවන්න; මෙ‍න්න, සකල ජනයා හට ඉතා ආනන්දජනක මංගල පුවතක් මම ඔබ වෙත ගෙනෙමි.</verse>
				<verse number="11">මක්නිසා ද, ස්වාමීන් වන ක්‍රිස්තුස් නම් ගැළවුම්කාරයෙක් ඔබ හට දාවිත්ගේ නුවර අද උපන්නේ ය.</verse>
				<verse number="12">රෙදිවලින් ඔතා ගව ඔරුවක බාවා සිටින බිළිඳෙක් ඔබට සම්බ වන්නේ ය. එය ඔබට සලකුණ ය”යි කී ය.</verse>
				<verse number="13">ඒ ඇසිල්ලෙහි ම දේව දූතයා සමඟ ස්වර්ග සේනා සමූහයක් දෙවියන් වහන්සේ පසසමින්,</verse>
				<verse number="14">“අති උසස් තැන්හි දෙවිඳුන්ට මහිමය ද මිහි පිට දේව ප්‍රසාදය ලත් ජනයා අතර සාමය ද වේ වා”යි ගැයූ හ.</verse>
				<verse number="15">තවද, දේව දූතයන් ඔවුන් කෙරෙන් සගලොවට ගිය කල, එඬේරු, “අපි වහාම බෙත්ලෙහෙමට ගොස් සමිඳාණන් වහන්සේ අපට දන්වා වදාළ මේ සිද්ධිය බලමු”යි ඔවුනොවුන් අතර කතා කරගත්හ.</verse>
				<verse number="16">ඔව්හු යුහුව ගොස් මරිය තුමී ද ජෝසෙප් ද ගව ඔරුවක සතප්වා උන් බිළිඳා ද දුටුවෝ ය.</verse>
				<verse number="17">ඔව්හු ඒ දැක මේ දරුවා ගැන තමන්ට දන්වන ලද දේ පළ කළහ.</verse>
				<verse number="18">ඒ ඇසූ සියල්ලෝ, එඬේරුන් පැවසූ සියල්ල ගැන මවිත වූ හ.</verse>
				<verse number="19">එහෙත්, මරිය තුමී එකී සියල්ල සිත්හි නිදන් කොට ඒවා මෙ‍නෙහි කළා ය.</verse>
				<verse number="20">එඬේරු ද තමන්ට දන්වන ලද ලෙස ම ඇසූ දුටු සියල්ල ගැන දෙවියන් වහන්සේට ගෞරව කරමින් ද ප්‍රශංසා කරමින් ද පෙරළා ගියහ.</verse>
				<verse number="21">උන් වහන්සේගේ චර්මඡේදන පිළිවෙත සඳහා අට දවස පිරුණු කල, උන් වහන්සේ කුසෙහි පිළිසිඳගැනීමට පෙර දේව දූතයා විසින් දෙන ලද, ‘ජේසුස්’ යන නාමය උන් වහන්සේට තබන ලද්දේ ය.</verse>
				<verse number="22">මෝසෙස්ගේ ව්‍යවස්ථාව අනුව ඔවුන්ගේ පවිත්‍ර වීමේ කාලය පැමිණියෙන්, ඔව්හු උන් වහන්සේ සමිඳාණන් වහන්සේට කැප කරනු වස්, ජෙරුසලමට ගෙනාහ.</verse>
				<verse number="23">එසේ කෙළේ, “හැම කුලුඳුල් පිරිමි දරුවෙක් ම සමිඳාණන් වහන්සේට කැප ය”යි සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාවලියෙහි ලියා ඇති ලෙස, දරුවා සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිසත්,</verse>
				<verse number="24">එහි ම කියා ඇති පරිදි කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ පූජා කරන පිණිසත් ය.</verse>
				<verse number="25">එකල, සිමියොන් නම් මිනිසෙක් ජෙරුසලමෙහි විසී ය. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ විමුක්තිය අපේක්ෂාවෙන් සිටි දැහැමි බැතිමතෙකි. ශුද්ධාත්මයාණෝ ඔහු කෙරෙහි වැඩහුන්හ.</verse>
				<verse number="26">සමිඳාණන් වහන්සේ අභිෂේක කළ ‘ක්‍රිස්තුන් වහන්සේ දක්නට පළමුවෙන් ඔහු මරණය නොදක්නේ ය’යි ශුද්ධාත්මයාණන් විසින් ඔහුට අනාවරණය කරනු ලැබ තිබිණි.</verse>
				<verse number="27">ඔහු ශුද්ධාත්මානුභාවයෙන් දේව මාලිගාවට පැමිණියේ ය. ළදරු ජේසුස් වහන්සේ පිළිබඳ ව ව්‍යවස්ථාවෙහි සඳහන් වත්පිළිවෙත් ඉටු කරනු වස්, දෙමවුපියන් උන් වහන්සේ ගෙනා විට,</verse>
				<verse number="28">ඔහු උන් වහන්සේ දෝතින් වඩාගෙන මෙ‍සේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කෙළේ ය:</verse>
				<verse number="29">“සමිඳුනි, ඔබ පොරොන්දු වූ ලෙස ම දැන් ඔබ දාසයා හට, ශාන්ති සිතින් යාමට ඔබ නිදහස දී ඇත,</verse>
				<verse number="30">මන්ද, ගැළවීම මාගේ දෙනෙතින් දිටිමි.</verse>
				<verse number="31">එය සකල ජාතීන් අබිමුව කළ ගැළවීම ද</verse>
				<verse number="32">
					විජාතීන්ට එළිය දෙන ආලෝකය ද ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ මහිමය ද වේ.”
				</verse>
				<verse number="33">උන් වහන්සේ පිළිබඳ ව කී දේ ගැන උන් වහන්සේගේ පියා ද මවු ද මවිත වූ හ.</verse>
				<verse number="34">සිමියොන් ඔවුන්ට ආශීර්වාද කරමින් උන් වහන්සේගේ මව වූ මරිය තුමීට කතා කොට, “මේ දරුවා ඉශ්රායෙල්හි බොහෝ දෙනෙකුගේ වැටීම හා නැඟීම පිණිසත්, ප්‍රතික්ෂේපයට ලක් වන දේව සලකුණක් වන පිණිසත්, නියම ව සිටී.</verse>
				<verse number="35">එසේ ය, ඔබේ ම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙ‍න් තුවාළ වනු ඇත. මෙ‍සේ වන්නේ, බොහෝ දෙනෙකුගේ සිත්හි රහස් කල්පනා එළිදරව් වන පිණිස ය”යි කී ය.</verse>
				<verse number="36">තවද, ආෂෙර්ගේ පෙළපතින් ආ පානුවෙල්ගේ දුවක වන බොහෝ වයස්ගත අන්නා නම් දිවැසිවරියක් වූවා ය. විවාහයෙන් පසු සත් වසක් සැමියා සමඟ විසූ ඈ</verse>
				<verse number="37">අසූ හතර අවුරුද්දක් වයස් වන තුරු වැන්දඹුවක් ව සිටියා ය. ඈ දේව මාලිගාවෙන් අහක් ව නො ගොස් දිවා රෑ දෙක්හි උපවාස හා යාච්ඤා පවත්වමින් නමස්කාර කළා ය.</verse>
				<verse number="38">ඈ ද ඒ මොහොතේ දී ම අවුත්, දෙවියන් වහන්සේට තුති පුදා, ජෙරුසලමේ විමුක්තිය අපේක්ෂා කළ සියලු දෙනා හට උන් වහන්සේ ගැන කතා කළා ය.</verse>
				<verse number="39">ජෝසෙප් සහ මරියා සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාවලිය අනුව සියල්ල ඉටු කළ පසු ගලීලයෙහි නාසරෙත් නම් සිය නුවරට පෙරළා ගියහ.</verse>
				<verse number="40">දරුවා වැඩී ශක්තිමත් ව ප්‍රඥාවෙන් පූර්ණ විය; දෙවියන් වහන්සේගේ ප්‍රසාදය උන් වහන්සේ කෙරෙහි විය.</verse>
				<verse number="41">ජේසුස් වහන්සේගේ මවුපියෝ අවුරුදු පතා පාස්කු උළෙල සඳහා ජෙරුසලමට ගියහ.</verse>
				<verse number="42">උන් වහන්සේ දොළොසැවිරිදි වූ කල, ඔව්හු සිරිත් ලෙස ඒ මංගල්‍යයට ගියහ.</verse>
				<verse number="43">ඔවුන් නියමිත දවස් ගෙවා පෙරළා එන අතර, ජේසුස් කුමරාණෝ ජෙරුසලමෙහි රැඳුණු සේක; එහෙත්, උන් වහන්සේගේ දෙමවුපියෝ ඒ බව නොදැන,</verse>
				<verse number="44">උන් වහන්සේ වන්දනාකාර පිරිස සමඟ ඇතැ යි සිතාගෙන, දවසක ගමන් ගොස්, නෑ මිතුරන් අතරෙහි උන් වහන්සේ සෙවූ හ.</verse>
				<verse number="45">එහෙත් සම්බ නොවූයෙන්, ඔව්හු උන් වහන්සේ සොයමින් ජෙරුසලමට පෙරළා ගියහ.</verse>
				<verse number="46">තෙදිනකට පසු ඔව්හු උන් වහන්සේ දේව මාලිගාවෙහි පඬිවරයන් මැද වැඩහිඳ ඔවුන් කී දේ අසමින් ද ඔවුන්ගෙන් ප්‍රශ්න විචාරමින් ද සිටිනු දුටුවෝ ය.</verse>
				<verse number="47">ඒ ඇසූ සියල්ලෝ ම උන් වහන්සේගේ බුද්ධි මහිමය හා පිළිතුරු ගැන විස්මිත වූ හ.</verse>
				<verse number="48">දෙමවුපියෝ උන් වහන්සේ දුටු කල මවිත වූ හ. උන් වහන්සේගේ මෑණියෝ, “පුතා, කුමක් නිසා අපට මෙ‍සේ කෙළෙහි ද? බලන්න, ඔබේ පියා ද මම ද දුකින් තැවි තැවී ඔබ සෙවීමු”යි කී හ.</verse>
				<verse number="49">එවිට උන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ මා සෙව්වේ මන් ද? මා පියාණන්ගේ මැදුරෙහි මා සිටිය යුතු බව ඔබ නොදන්නහු දැ”යි ඔවුන්ට වදාළ සේක.</verse>
				<verse number="50">එහෙත්, උන් වහන්සේගේ ඒ කීම ඔවුන්ට අවබෝධ නො වී ය.</verse>
				<verse number="51">උන් වහන්සේ ඔවුන් කැටුව ගොස් නාසරෙත් නුවරට පැමිණ ඔවුන්ට කීකරු වී විසූ සේක. උන් වහන්සේගේ මෑණියෝ මේ සියල්ලක් ම සිත්හි නිදන් කරගත්හ.</verse>
				<verse number="52">ජේසුස් වහන්සේ ප්‍රඥා මහිමයෙන් හා කාය ශක්තියෙන් ද දෙවියන් වහන්සේගෙන් හා මිනිසුන්ගෙන් ප්‍රසාදය ලබමින් ද වැඩුණු සේක.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">තිබේරියස් අධිරාජයා රජ පැමිණි පසළොස් වන අවුරුද්දෙහි පොන්තියස් පිලාත් ජුදයට ආණ්ඩුකාරයා ව ද හෙරොද් ගලීලයට යුවරජ ව ද ඔහුගේ සහෝදර පිලිප් ඉතුරයටත්, ත්‍රිකොනියටත් යුවරජ ව ද ලුසානියස් අබිලේනියට යුවරජ ව ද අන්නස් හා කායාපස් උත්තම පූජකවරයන් ව ද සිටි සමයෙහි,</verse>
				<verse number="2">දෙවියන් වහන්සේගේ පණිවුඩය පාළුකරයෙහි සෙකරියස්ගේ පුත් ජොහන් වෙත පැමිණියේ ය.</verse>
				<verse number="3">තවද, ඔහු ජොර්දාන් ගඟ අවට පෙදෙස මුළුල්ලෙහි සැරිසරමින්, පව් කමාව පිණිස පසුතැවී සිත් හරවා ගෙන බව්තීස්ම-ස්නාපනය ලබන්නැ යි ප්‍රකාශ කෙළේ ය.</verse>
				<verse number="4">එපවත් දිවැසිවර යෙසායාගේ ලියවිලිවල මෙ‍සේ ලියා ඇත: “සමිඳුන්ගේ මඟ පිළියෙළ කරන්න, එතුමන් හට ඇද නැති මාවත් සාදන්න.</verse>
				<verse number="5">සියලු කඳුරැළි පුරවනු ලැබේ;</verse>
				<verse number="6">සියලු කඳු හා හෙල් සමතලා කරනු ලැබේ; සියලු වංගු ඇද හරිනු ලැබේ; රළු මාවත් මට්ටම් කරනු ලැබේ. දෙවියන් කෙරෙන් වන විමුත් මඟ මනු සත දකිනු ඇතැ යි පාළුකරයෙහි මොරගා කියන හඬෙකි.”</verse>
				<verse number="7">එකල ඔහු තමාගෙන් බව්තීස්ම-ස්නාපනය ලබන්ට ආ ජනතාවට කතා කොට, “එම්බා පොළොං වංශය, එන්න තිබෙන උදහසින් පලා යන්න නුඹලාට අවවාද කෙළේ කවරෙක් ද?</verse>
				<verse number="8">එබැවින් ආබ්‍රහම් අපේ පියාණෝ යයි සිතින් කියාගන්න පටන් නොගෙන පසුතැවී සිත් හරවා ගත් බව දැක්වෙන ලෙස හැසිරෙන්න; මන්ද, මේ ගල්වලින් ආබ්‍රහම්ට දරු පරපුරක් උපදවා දෙන්නට දෙවියන් වහන්සේට හැකි යයි මම ඔබට කියමි.</verse>
				<verse number="9">තවද, දැනටමත් පොරොව ගස් මුල්වලට එල්ල කර ඇත. එබැවින් හොඳ පල නොදරන සියලු ගස් කපා ගින්නෙහි හෙළනු ඇතැ”යි කී ය.</verse>
				<verse number="10">එවිට ජනකාය, “එසේ නම් අප කුමක් කළ යුතු දැ”යි ඔහුගෙන් ඇසූ හ.</verse>
				<verse number="11">ඔහු උත්තර දෙමින්, “අඳන දෙකක් ඇති අය නැති අයට දෙත් වා; කෑම ඇති අය කෑම නැති අයට දෙත් වා”යි කී ය.</verse>
				<verse number="12">අයකැමියෝ ද බව්තීස්ම-ස්නාපනය ලබන්ට අවුත්, “ගුරුදේවයිනි, අප කුමක් කළ යුතු දැ”යි ඔහුගෙන් ඇසූ හ.</verse>
				<verse number="13">“නියමිත පමණට වැඩියෙන් අය බදු නොගන්නැ”යි ඔහු ඔවුන්ට කී ය.</verse>
				<verse number="14">හේවායෝ ද, “ඉතින් අප කළ යුත්තේ කුමක් දැ”යි ඇසූ හ. “කිසිවෙකුගෙන් බලහත්කාරයෙන් වත් බොරු චෝදනා නැඟීමෙ‍න් වත් කිසිවක් පැහැර නොගන්න. ඔබට ලැබෙන වැටුපෙන් සෑහී සිටින්නැ”යි ඔහු ඔවුන්ට කී ය.</verse>
				<verse number="15">“මේ ක්‍රිස්තුවරයා විය හැකි දැ”යි සෙනඟ අපේක්ෂාවෙන් බලා සිටිය දීත්, හැම දෙන ජොහන් ගැන විවාද කරමින් සිටිය දීත්,</verse>
				<verse number="16">ජොහන් සියල්ලන්ට පිළිතුරු දෙමින්, “මම නම්, ඔබ වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරමි; එහෙත් මට වඩා ආනුභාව සම්පන්න උතුමෙ‍ක් එන්නේ ය; එතුමන්ගේ පාවහන් පටි මුදන්ට වත් මම නොවටිමි; එතුමාණෝ ශුද්ධාත්මයාණන්ගෙන් ද ගින්නෙන් ද ඔබ බව්තීස්ම-ස්නාපනය කරවන සේක.</verse>
				<verse number="17">කමත හොඳ හැටි පිරිසිදු කරන පිණිසත්, ධාන්‍ය පොළා සිය අටුවෙහි රැස් කරන පිණිසත්, උන් වහන්සේගේ අතෙහි කුල්ල ඇත; එහෙත් බොල් නොනිවෙන ගින්නෙන් දවනු ලැබේ ය”යි කී ය.</verse>
				<verse number="18">මෙ‍සේ තවත් බොහෝ අනුශාසනා මඟින් ඔහු සමූහයාට සුබ අස්න දේශනා කෙළේ ය.</verse>
				<verse number="19">එහෙත්, හෙරොද් යුවරජු සිය සොහොයුරාගේ බිරිඳ වූ හෙරොදියස් විවාහ කරගත් නිසා ද ඔහු කළ සියලු දුෂ්ටකම් නිසා ද ජොහන් ඔහුට තරවටු කෙළේ ය.</verse>
				<verse number="20">ඒ නිසා හෙරොද් ඔහු හිරගෙට යැවී ය. එසේ කිරීමෙ‍න් ඔහු අනිත් සියල්ලටත් වඩා දරුණු දුෂ්ටකමක් කෙළේ ය.</verse>
				<verse number="21">තවද මුළු සෙනඟ බව්තීස්ම-ස්නාපනය ලැබූ විට, ජේසුස් වහන්සේත් බව්තීස්ම-ස්නාපනය ලබා යාච්ඤා කරමින් සිටිය දී ස්වර්ගය විවර වී,</verse>
				<verse number="22">ශුද්ධාත්මයාණෝ පරෙවියෙකුගේ රූපාකාරයෙන් උන් වහන්සේ කෙරෙහි පහළ වූ සේක. එවිට: “ඔබ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; ඔබ කෙරෙහි ඉතා ප්‍රසන්න වී සිටිමි”යි අහසින් හඬක් නික්මිණි.</verse>
				<verse number="23">ජේසුස් වහන්සේ සිය සේවය අරඹන විට අවුරුදු තිහක් පමණ වයස් ව සිටි සේක. උන් වහන්සේ ජෝසෙප්ගේ පුත්‍රයා යයි ඔව්හු සිතූ හ. ජෝසෙප් හේලීගේ පුත්‍රයා ය,</verse>
				<verse number="24">ඔහු මත්තාත්ගේ පුත්‍රයා ය, ඔහු ලෙවීගේ පුත්‍රයා ය, ඔහු මෙ‍ල්කීගේ පුත්‍රයා ය, ඔහු ජන්නයිගේ පුත්‍රයා ය, ඔහු ජෝසෙප්ගේ පුත්‍රයා ය,</verse>
				<verse number="25">ඔහු මත්තාතියස්ගේ පුත්‍රයා ය, ඔහු ආමොස්ගේ පුත්‍රයා ය, ඔහු නාහුම්ගේ පුත්‍රයා ය, ඔහු එස්ලීගේ පුත්‍රයා ය, ඔහු නග්ගයිගේ පුත්‍රයා ය,</verse>
				<verse number="26">ඔහු මායත්ගේ පුත්‍රයා ය, ඔහු මත්තාතියස්ගේ පුත්‍රයා ය, ඔහු සෙමෙ‍යින්ගේ පුත්‍රයා ය, ඔහු ජෝසෙප්ගේ පුත්‍රයා ය, ඔහු ජෝදාගේ පුත්‍රයා ය,</verse>
				<verse number="27">ඔහු ජොවානන්ගේ පුත්‍රයා ය, ඔහු රෙසාගේ පුත්‍රයා ය, ඔහු සෙරුබ්බාබෙල්ගේ පුත්‍රයා ය, ඔහු ෂෙයල්තියෙල්ගේ පුත්‍රයා ය, ඔහු නේරයිගේ පුත්‍රයා ය,</verse>
				<verse number="28">ඔහු මෙ‍ල්කිගේ පුත්‍රයා ය, ඔහු අද්දිගේ පුත්‍රයා ය, ඔහු කෝසම්ගේ පුත්‍රයා ය, ඔහු එල්මාදම්ගේ පුත්‍රයා ය, ඔහු ඒර්ගේ පුත්‍රයා ය,</verse>
				<verse number="29">ඔහු ජෝෂුවාගේ පුත්‍රයා ය, ඔහු එළියේශර්ගේ පුත්‍රයා ය, ඔහු ජෝරයිම්ගේ පුත්‍රයා ය, ඔහු මත්තාත්ගේ පුත්‍රයා ය, ඔහු ලෙවීගේ පුත්‍රයා ය,</verse>
				<verse number="30">ඔහු සිමියොන්ගේ පුත්‍රයා ය, ඔහු ජූදාගේ පුත්‍රයා ය, ඔහු ජෝසෙප්ගේ පුත්‍රයා ය, ඔහු ජෝනාම්ගේ පුත්‍රයා ය, ඔහු එලියාකිම්ගේ පුත්‍රයා ය,</verse>
				<verse number="31">ඔහු මෙ‍ලියාගේ පුත්‍රයා ය, ඔහු මෙ‍න්නාගේ පුත්‍රයා ය, ඔහු මත්තතාගේ පුත්‍රයා ය, ඔහු නාතන්ගේ පුත්‍රයා ය, ඔහු දාවිත්ගේ පුත්‍රයා ය,</verse>
				<verse number="32">ඔහු ජෙස්සේගේ පුත්‍රයා ය, ඔහු ඕබෙද්ගේ පුත්‍රයා ය, ඔහු බෝවස්ගේ පුත්‍රයා ය, ඔහු සල්මොන්ගේ පුත්‍රයා ය, ඔහු නාෂොන්ගේ පුත්‍රයා ය,</verse>
				<verse number="33">ඔහු අම්මිනාදාබ්ගේ පුත්‍රයා ය, ඔහු අද්මික්ගේ පුත්‍රයා ය, ඔහු අර්නීගේ පුත්‍රයා ය, ඔහු හෙස්රෝම්ගේ පුත්‍රයා ය, ඔහු පෙරෙෂ්ගේ පුත්‍රයා ය, ඔහු ජූදාගේ පුත්‍රයා ය,</verse>
				<verse number="34">ඔහු ජාකොබ්ගේ පුත්‍රයා ය, ඔහු ඊසාක්ගේ පුත්‍රයා ය, ඔහු ආබ්‍රහම්ගේ පුත්‍රයා ය, ඔහු තේරාගේ පුත්‍රයා ය, ඔහු නාහෝර්ගේ පුත්‍රයා ය,</verse>
				<verse number="35">ඔහු සෙරුග්ගේ පුත්‍රයා ය, ඔහු රෙව්ගේ පුත්‍රයා ය, ඔහු පලගේගේ පුත්‍රයා ය, ඔහු ඒබර්ගේ පුත්‍රයා ය, ඔහු ෂෙලාගේ පුත්‍රයා ය, ඔහු කායිනන්ගේ පුත්‍රයා ය.</verse>
				<verse number="36">ඔහු අර්පක්සද්ගේ පුත්‍රයා ය, ඔහු ෂෙම්ගේ පුත්‍රයා ය, ඔහු නෝවාගේ පුත්‍රයා ය, ඔහු ලාමෙ‍ක්ගේ පුත්‍රයා ය,</verse>
				<verse number="37">ඔහු මෙ‍තුසෙලාගේ පුත්‍රයා ය,</verse>
				<verse number="38">ඔහු ඒනොක්ගේ පුත්‍රයා ය, ඔහු ජාරෙද්ගේ පුත්‍රයා ය, ඔහු මාලෙලෙයීල්ගේ පුත්‍රයා ය, ඔහු කේනාන්ගේ පුත්‍රයා ය, ඔහු ඒනොෂ්ගේ පුත්‍රයා ය, ඔහු සෙත්ගේ පුත්‍රයා ය, ඔහු ආදම්ගේ පුත්‍රයා ය, ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">ජේසුස් වහන්සේ ශුද්ධාත්මානුභාවයෙන් පූර්ණ ව ජොර්දානෙන් ආපසු ආ විට, ආත්මයාණන් වහන්සේ විසින් උන් වහන්සේ පාළුකරයට ගෙනයනු ලැබූ සේක.</verse>
				<verse number="2">එහි දී දින සතළිසක් මුළුල්ලේ යක්ෂයා උන් වහන්සේ පරීක්ෂා කෙළේ ය. ඒ දවස්වල දී උන් වහන්සේ කිසිවක් නොවැළඳූ සේක. ඒ කාලය නිම වූ පසු උන් වහන්සේට කුසගිනි ඇති විය.</verse>
				<verse number="3">එකල යක්ෂයා කතා කරමින්, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම්, මේ ගල් ගෙඩිය පාන් ගෙඩියක් වන්නට අණ කළ මැනවැ”යි උන් වහන්සේට කී ය.</verse>
				<verse number="4">ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ ‘මිනිසා කෑමෙ‍න් පමණක් ජීවත් නොවන්නේ ය’ කියා ලියා ඇතැ”යි ඔහුට වදාළ සේක.</verse>
				<verse number="5">එවිට යක්ෂයා උන් වහන්සේ උස් තැනකට පමුණුවා, ක්ෂණයකින් ලෝකයේ සියලු රට රාජ්‍යයන් උන් වහන්සේට පෙන්වා,</verse>
				<verse number="6">“මේවා කෙරෙහි මුළු ආධිපත්‍යය ද ඒවායේ යස ඉසුරු ද ඔබට දෙන්නෙමි; ඒවා මට පවරා දී ඇති හෙයින් මා කැමැති කෙනෙකුට ඒවා දෙමි;</verse>
				<verse number="7">එබැවින් ඔබ මා ඉදිරියෙහි නමස්කාර කරන්නෙහි නම් ඒ සියල්ල ම ඔබ සන්තක වන්නේ ය”යි උන් වහන්සේට කී ය.</verse>
				<verse number="8">ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ ‘නුඹේ දෙවි වන සමිඳාණන් වහන්සේට නමස්කාර කරන්න; උන් වහන්සේට පමණක් සේවය කරන්න’ කියා ලියා ඇතැ”යි ඔහුට වදාළ සේක.</verse>
				<verse number="9">ඉන්පසු ඔහු උන් වහන්සේ ජෙරුසලමට ගෙන ගොස්, දේව මාලිගාවේ කොත මුදුනේ සිටුවා, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මෙ‍තැනින් පහතට පනින්න.</verse>
				<verse number="10">එසේ කියන්නේ, ‘ඔබට රැකවරණ සලසනු වස් උන් වහන්සේ සිය දූතයන් හට අණ දෙනු ඇතැ’යි ද</verse>
				<verse number="11">‘යම් ලෙසකින් ඔබේ පය ගලක නොවදින පිණිස ඔවුන් සිය දෝතින් ඔබ උසුලනු ඇතැ’යි ද කියා ලියා ඇති බැවිනැ”යි උන් වහන්සේට කී ය.</verse>
				<verse number="12">ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ ‘නුඹේ දෙවි වන සමිඳාණන් වහන්සේ පරීක්ෂා නොකරන්න,’ කියා ද ලියා ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="13">යක්ෂයා මෙ‍කී පරීක්ෂා නිමවා, සුදුසු අවස්ථාවක් යළිත් එළඹෙන තුරු උන් වහන්සේ අත්හැර ගියේ ය.</verse>
				<verse number="14">තවද, ජේසුස් වහන්සේ ශුද්ධාත්මානුභාවයෙන් යුක්ත ව ගලීලයට පෙරළා වැඩිය සේක. උන් වහන්සේ පිළිබඳ ආරංචිය අවට මුළු පෙදෙස පුරා පැතිරිණි.</verse>
				<verse number="15">උන් වහන්සේ සියල්ලන්ගෙන් ප්‍රශංසා ලබමින්, ඔවුන්ගේ ධර්මශාලාවල ඉගැන්වූ සේක.</verse>
				<verse number="16">උන් වහන්සේ තමන් ඇතිදැඩි වූ නාසරෙත් නුවරට පැමිණ සිරිත් පරිදි සබත් දවසේ දී ධර්මශාලාවට වැඩම කර කියවීම පිණිස නැඟිට සිටි සේක.</verse>
				<verse number="17">එවිට දිවැසිවර යෙසායාගේ ග්‍රන්ථය උන් වහන්සේට දෙන ලද්දේ ය. උන් වහන්සේ ග්‍රන්ථය දිගහැර, මෙ‍සේ ලියා ඇති තැන සොයාගත් සේක:</verse>
				<verse number="18">“සමිඳාණන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි ඇත. මක්නිසා ද දිළිඳුන් හට සුබ ආරංචිය දේශනා කරනු වස්, උන් වහන්සේ මා ආලේප කළ සේක. වහලුන්ට මිදීම ද අන්ධයන්ට පෙනීම ද ලැබෙන බව දන්වන්ටත්, පීඩිත වූවන් මුදන්ටත්,</verse>
				<verse number="19">සමිඳාණන් වහන්සේගේ ප්‍රසාදය ලත් වසර ප්‍රකාශ කරන්ටත් මා එවා වදාළ සේක.”</verse>
				<verse number="20">උන් වහන්සේ එය කියවා, ග්‍රන්ථය අකුළා, උපස්ථායක තැනට දී වැඩහුන් සේක. එකල ධර්මශාලාවෙහි සිටි සියල්ලෝ උන් වහන්සේ කෙරෙහි නෙත් යොමා සිටියහ.</verse>
				<verse number="21">උන් වහන්සේ ඔවුන්ට කතා කරන්න පටන් ගෙන, “අද ඔබ සවන් දී සිටිය දී ම මේ ශුද්ධ ලියවිලි පාඨය ඉෂ්ට වී ය”යි වදාළ සේක.</verse>
				<verse number="22">සියල්ලෝ ම උන් වහන්සේට ප්‍රශංසා කරමින්, උන් වහන්සේගේ මුවින් පහළ වූ කාරුණික වචන ගැන පුදුම ව, “මේ ජෝසෙප්ගේ පුතා නොවේ දැ”යි කී හ.</verse>
				<verse number="23">එවිට උන් වහන්සේ කතා කොට, “ ‘වෙද තුමාණෙනි, ඔබ, ඔබම සුව කරගන්න’ යන ප්‍රස්තා පිරුළ ඔබ නිසැක ව ම මට ගෙන හැර පා,</verse>
				<verse number="24">‘කපර්ණවුමෙ‍හි දී ඔබ විසින් කරන ලදැ යි අප ඇසූ ක්‍රියා ඔබේ උපන් ගම වන මෙ‍හිදීත් කරන්නැ’යි මට කියනු ඇත. සැබැවින් ම මම ඔබට කියමි, ගමේ දිවැසිවරයා ගමට අගේ නැත.</verse>
				<verse number="25">සහතික ලෙස මම ඔබට කියමි, එලියාගේ කාලයේ දී තුන් අවුරුදු සමසක් මුළුල්ලෙහි අහස පියවී, රට පුරා දැඩි සාගතයක් පැවති අතර,</verse>
				<verse number="26">ඉශ්රායෙල් රටේ බොහෝ වැන්දඹුවන් සිටි නමුත්, සීදොන් පළාතෙහි ශාරෙපත්හි වැන්දඹුව වෙත මිස අන් කිසිවෙකු වෙතට එලියා නොයවන ලද්දේ ය.</verse>
				<verse number="27">දිවැසිවර එලිෂාගේ කාලයේ දී ඉශ්රායෙල් රටේ බොහෝ කුෂ්ඨ රෝගීන් සිටි නමුත්, සිරියානු ජාතික නාමන් මිස අන් කිසිවෙක් සුවය නොලැබී ය”යි වදාළ සේක.</verse>
				<verse number="28">ධර්මශාලාවෙහි සිටි මුළු සමූහයා ඒ අසා කෝපාවිෂ්ට වූ හ.</verse>
				<verse number="29">ඔව්හු වහා නැඟිට උන් වහන්සේ නුවරින් පිටතට නෙරපා, ප්‍රපාතයට හෙළනුවස් ඔවුන්ගේ නුවර ගොඩනඟා තිබුණු කන්ද අද්දරට ගෙන ගියහ.</verse>
				<verse number="30">එහෙත් උන් වහන්සේ ජනකාය මැදින් ගමන් කර නික්ම ගිය සේක.</verse>
				<verse number="31">උන් වහන්සේ ගලීලයේ නුවරක් වන කපර්ණවුමට පැමිණ, සබත් දිනයේ දී අනුශාසනා කරමින් සිටි සේක.</verse>
				<verse number="32">උන් වහන්සේ බලධාරි කෙනෙකුන් මෙ‍න් කතා කළ බැවින් ඒ අනුශාසනා ගැන සෙනඟ විස්මිත වූ හ.</verse>
				<verse number="33">අශුද්ධාත්මයක් ආවේශ වූ මිනිසෙක් ධර්මශාලාවෙහි සිටියේ ය. ඔහු මහ හඬින් මොරගසා,</verse>
				<verse number="34">“අහෝ! නාසරෙත්හි ජේසුස් තුමෙ‍නි ඔබත් අපත් අතර මොන ගනුදෙනුවක් ද? ඔබ ආවේ අප වනසන්ට ද? ඔබ කවරෙක් දැ යි දනිමි. ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධවරයාණෝ ය”යි කී ය.</verse>
				<verse number="35">ජේසුස් වහන්සේ ඔහුට තරවටු කරමින්, “කට පියාගෙන මොහුගෙන් දුරු වෙව”යි වදාළ සේක. එවිට දුෂ්ටාත්මය සමූහයා ඉදිරියෙහි ඔහු බිම හෙළා, ඔහුට තුවාළ නොකොට ඔහුගෙන් දුරු වී ය.</verse>
				<verse number="36">සියල්ලෝ ම විස්මිත ව “මේ මොන ධර්මයක් ද? මෙ‍තුමා බලධාරී ව ද මහානුභාව ඇති ව ද අශුද්ධාත්මයන්ට අණ දෙන සේක; ඔව්හු පලා යති”යි තම තමන් අතර කතා කරගත් හ.</verse>
				<verse number="37">උන් වහන්සේ පිළිබඳ මෙ‍පුවත අවට පෙදෙස පුරා පැතිරිණි.</verse>
				<verse number="38">උන් වහන්සේ ධර්මශාලාවෙන් නැඟිට ගොස් සීමොන්ගේ ගෙදරට ඇතුළු වූ සේක. සීමොන්ගේ බිරිඳගේ මවට බලවත් උණ රෝගයක් වැළඳී තිබිණි. ඔව්හු ඈ උදෙසා උන් වහන්සේට කන්නලව් කළහ.</verse>
				<verse number="39">උන් වහන්සේ ද ඈ ළඟ සිට උණ රෝගය පහ ව යන්න අණ කළ සේක, උණ රෝගය ඇගෙන් පහ ව ගියේ ය. එකෙණෙහි ම ඈ නැඟිට ඔවුන්ට උපස්ථාන කළා ය.</verse>
				<verse number="40">හිරු බැස යද්දී, නොයෙක් රෝගවලින් පීඩිත වූ අය භාර ව සිටි සියල්ලෝ ම උන් වහන්සේ වෙත ඔවුන් ගෙනාහ. උන් වහන්සේ එකිනෙකා පිට අත තබා ඔවුන් සුවපත් කළ සේක.</verse>
				<verse number="41">දුෂ්ටාත්මයෝ ද, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය”යි බෙරිහන් දෙමින් බොහෝ දෙනෙකුගෙන් දුරු වූ හ. තමන් ක්‍රිස්තුන් වහන්සේ යයි ඔවුන් දැන සිටි නිසා උන් වහන්සේ ඔවුන්ට තරවටු කොට, කතා කිරීම තහනම් කළ සේක.</verse>
				<verse number="42">පසුදින පහන් වූ කල උන් වහන්සේ පිටත් ව හුදකලා තැනකට වැඩිය සේක. සමූහයා උන් වහන්සේ සොයා ගොස්, හමු වූ පසු, තමන් වෙතින් යන්න නොදී උන් වහන්සේ නවතාගන්න තැත් කළහ.</verse>
				<verse number="43">උන් වහන්සේ කතා කොට, “මා වෙනත් නුවරවල ද දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කළ යුතු ය; මා එවන ලද්දේ ඒ සඳහා ය”යි ඔවුන්ට වදාළ සේක.</verse>
				<verse number="44">තවද, උන් වහන්සේ ජුදයේ ධර්මශාලාවල දේශනා කරමින් සිටි සේක.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">දිනක් උන් වහන්සේ ගෙන්නෙසරෙත් විල අසල සිටිය දී, සමූහයා දෙවියන් වහන්සේගේ දහම් පණිවුඩය අසනු පිණිස උන් වහන්සේ වටා තෙරපි තෙරපී සිටි කල,</verse>
				<verse number="2">විල අයිනේ ඔරු දෙකක් තිබෙනු උන් වහන්සේ දුටු සේක. ධීවරයෝ ඒවායින් බැස විත් දැල් සෝදමින් සිටියහ.</verse>
				<verse number="3">උන් වහන්සේ ඒ ඔරුවලින් එකක් වූ සීමොන්ගේ ඔරුවට නැඟී එය වෙරළින් මඳක් ඈතට දියත් කරන්න කියා එහි වැඩහිඳ, සමූහයාට අනුශාසනා කළ සේක.</verse>
				<verse number="4">එය නිම වූ කල උන් වහන්සේ සීමොන්ට කතා කොට, “මසුන් අල්ලන පිණිස දියඹට ගොස් දැල් හෙළන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="5">සීමොන් පිළිතුරු දෙමින්, “ස්වාමීනි, රෑ මුළුල්ලේ ම වෙහෙස වූ නමුත් අපි කිසිවක් නොලදිමු. එහෙත් ඔබ කියන සේක් නම් දැල් හෙළමි”යි කී ය.</verse>
				<verse number="6">එසේ කළ විට ඔව්හු මසුන් මහා රාශියක් අල්ලාගත්හ. ඔවුන්ගේ දැල් ද ඉරෙන්නට වන.</verse>
				<verse number="7">ඔව්හු ද තමන්ගේ උදව්වට එන ලෙස අනික් ඔරුවෙහි සිටි හවුල් කාරයන්ට සංඥා කළහ. ඔව්හු අවුත් ඔරු දෙක කිඳා බසින තරමට පුරවාගත්හ.</verse>
				<verse number="8">සීමොන් පේදුරු ඒ දැක, ජේසුස් වහන්සේගේ පාමුල දණින් වැටී, “ස්වාමීනි, මා වෙතින් ඉවත් වනු මැනව, මම පව්කාර මිනිසෙකැ”යි කී ය.</verse>
				<verse number="9">මන්ද, ඔහු ද ඔහු සමඟ සිටි සියල්ලෝ ද තමන් ඇල්ලූ මසුන් රාශිය දැක විස්මිත වූ හ.</verse>
				<verse number="10">සීමොන්ගේ හවුල්කාරයන් වූ සෙබදීගේ පුත් ජාකොබ් ද ජොහන් ද එසේ ම විස්මිත වූ හ. ජේසුස් වහන්සේ සීමොන්ට කතා කරමින්, “බිය නොවන්න, මෙ‍තැන් සිට ඔබ මිනිසුන් දිනනු ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="11">ඔව්හු තමන්ගේ ඔරු වෙරළට ඇද ඒ සියල්ල හැරදමා උන් වහන්සේ අනුව ගියහ.</verse>
				<verse number="12">තවද උන් වහන්සේ එක් නුවරක සිටිය දී, සර්වාංගයෙහි ලාදුරු තිබුණු මිනිසෙක් එහි විය. ඔහු ජේසුස් වහන්සේ අබිමුවෙහි වැඳ වැටී, “ස්වාමීනි, ඔබ කැමැති සේක් නම්, මා පවිත්‍ර කරන්න ඔබට හැකි ය” කියමින් උන් වහන්සේට කන්නලව් කෙළේ ය.</verse>
				<verse number="13">උන් වහන්සේ අත දිගු කොට ඔහු මත තබා, “මම කැමැත්තෙමි, පවිත්‍ර වන්නැ”යි වදාළ සේක. ලාදුරු රෝගය එකෙණෙහි ම ඔහුගෙන් පහ ව ගියේ ය.</verse>
				<verse number="14">එය කිසිවෙකුට නොකියන ලෙස උන් වහන්සේ ඔහුට අණ දී, “ඔබ ගොස් පූජකයාට පෙනී, ඔබේ පවිත්‍ර වීම සඳහා ඔවුන්ට සාක්ෂියක් වන පිණිස මෝසෙස් අණ කළ දේවල් ඔප්පු කරන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="15">එහෙත්, උන් වහන්සේ ගැන ප්‍රවෘත්තිය වඩ වඩා පතළ විය; බොහෝ සමූහයෝ උන් වහන්සේට සවන් දෙන පිණිස ද සියලු රෝග සුව කරවාගන්න පිණිස ද රැස් වූ හ.</verse>
				<verse number="16">එහෙත්, උන් වහන්සේ හුදකලා පෙදෙසකට ගොස් යාච්ඤා කළ සේක.</verse>
				<verse number="17">එක් දිනක් උන් වහන්සේ උගන්වමින් සිටිය දී, ගලීලයේ සහ ජුදයේ සෑම ගම්වලින් ද ජෙරුසලමෙන් ද ආ පරිසිවරු හා විනයධරයෝ එහි හිඳගෙන උන්හ. රෝගීන් සුව කිරීමේ දේවානුභාවය උන් වහන්සේට තිබිණ.</verse>
				<verse number="18">එකල මිනිස්සු අංසබාග රෝගියෙකු යහනක තබා ගෙනාහ. ඔව්හු ඔහු ඇතුළට ගෙනවුත් උන් වහන්සේ ඉදිරියෙහි තබන්න සෙවූ හ.</verse>
				<verse number="19">එහෙත්, සමූහයා නිසා ඇතුළට ගෙන යන්නට මඟක් නොදැක පියස්සට නැඟී සෙවිල්ල ඇර, ජේසුස් වහන්සේ ඉදිරියෙහි පිරිස මැදට මෙ‍ට්ටයත් සමඟ රෝගියා බැස්වූ හ.</verse>
				<verse number="20">උන් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, “මිත්‍රය, ඔබේ පව් ඔබට කමා කරන ලදැ”යි වදාළ සේක.</verse>
				<verse number="21">එවිට විනයධරයෝ ද පරිසිවරු ද, “දේවාපහාස වචන කියන මේ මිනිහා කවරෙක් ද? දෙවියන් වහන්සේට මිස පව් කමා කරන්න පුළුවන් අන් කාට දැ”යි විවාද කරන්න පටන්ගත්හ.</verse>
				<verse number="22">ජේසුස් වහන්සේ ඔවුන්ගේ කල්පනා දැන ඔවුන්ට උත්තර දෙමින්, “ඔබේ සිත් තුළ මෙ‍සේ විවාද කරන්නේ මන් ද?</verse>
				<verse number="23">වඩා පහසු කොයි එක ද? ඔබේ පව් ඔබට කමා කරන ලදැ යි කීම ද, නැතහොත් නැඟිට ඇවිදින්නැ යි කීම ද?</verse>
				<verse number="24">එහෙත්, පොළොවෙහි දී පව් කමා කරන්න මනුෂ්‍ය-පුත්‍රයාණන්ට බලය ඇති බව ඔබ දැනගන්න පිණිස මම මෙ‍ය කරමි”යි කියා, උන් වහන්සේ, “මෙ‍ට්ටය රැගෙන යන්නැ යි මම ඔබට කියමි”යි අංසබාග රෝගියාට වදාළ සේක.</verse>
				<verse number="25">එකෙණෙහි ම ඔහු ඔවුන් ඉදිරියෙහි නැඟිට, තමා වැතිර හුන් මෙ‍ට්ටය රැගෙන, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ගෙදර ගියේ ය.</verse>
				<verse number="26">සියල්ලෝ විස්මිත ව දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් බියෙන් ඇලළී, “අද අපි හරි පුදුම දේ දුටුවෙමු”යි කී හ.</verse>
				<verse number="27">ඉක්බිති උන් වහන්සේ නික්ම ගොස් ලෙවී නම් අයකැමියෙකු බදුපොළේ හිඳිනු දැක, “මා අනුව එන්නැ”යි ඔහුට වදාළ සේක.</verse>
				<verse number="28">ඔහු සියල්ල අත්හැරදමා නැඟිට උන් වහන්සේ අනුව ගියේ ය.</verse>
				<verse number="29">ලෙවී සිය නිවෙසෙහි උන් වහන්සේට මහා භෝජන සංග්‍රහයක් පිළියෙළ කෙළේ ය. අයකැමියන් හා වෙනත් අයගෙන් මහත් පිරිසක් ඔවුන් සමඟ කෑමට හිඳගත්හ.</verse>
				<verse number="30">එකල පරිසිවරු ද ඔවුන්ගේ විනයධරයෝ ද උන් වහන්සේගේ ශ්‍රාවකයන්ට විරුද්ධ ව චෝදනා කරමින්, “ඔබ අයකැමියන් ද පව්කාරයන් ද සමඟ කන්නේත් බොන්නේත් මන්දැ”යි ඇසූ හ.</verse>
				<verse number="31">ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් වැඩක් නැත.</verse>
				<verse number="32">මා ආයේ, පවිටුන් මිස දමිටුන් පසුතැවී සිත් හරවා ගැනීමට කැඳවීම පිණිස නොවේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="33">එවිට ඔව්හු උන් වහන්සේට කතා කොට, “ජොහන්ගේ ගෝලයෝ නොයෙක් වර උපවාස පවත්වා යාච්ඤා පුද කරති; පරිසිවරුන්ගේ ගෝලයෝත් එසේ ම කරති. එහෙත් ඔබේ ශ්‍රාවකයෝ කමින් බොමින් සිටිති”යි කී හ.</verse>
				<verse number="34">ජේසුස් වහන්සේ, පිළිතුරු දෙමින්, “මනාලයා මඟුල් ගෙදර සිටිය දී මනාල පිරිස උපවාසයෙහි යෙදවිය හැකි ද?</verse>
				<verse number="35">එහෙත්, මනාලයා ඔවුන් කෙරෙන් වෙන් කරනු ලබන දවස එයි, ඒ දවසේ දී ඔවුන් උපවාස කරනු ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="36">උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව ද වදාළ සේක: “කිසිවෙකු අලුත් ඇඳුමකින් රෙදිකඩක් ඉරා පරණ ඇඳුමකට අල්ලා මහන්නේ නැත. එසේ කළොත් අලුත් ඇඳුම ඉරී යනවා පමණක් නොව, අලුත් ඇඳුමෙ‍න් ගත් කෑල්ල පරණ ඇඳුමට කැපෙන්නේ ද නැත.</verse>
				<verse number="37">කිසිවෙකු නව මිදියුස, පැරණි බඳුන්වලට වත් කරන්නේ නැත; වත් කළොත්, නව මිදියුසින් බඳුන් පැළී මිදියුස වැගිරී, බඳුනුත් නාස්ති වෙයි.</verse>
				<verse number="38">නව මිදියුස වත් කළ යුත්තේ නව බඳුන්වල ම ය.</verse>
				<verse number="39">තවද, පරණ මිදියුස පානය කළ කිසි මිනිසෙක් නව මිදියුස රුචි නොකරයි; පරණ මිදියුස ම රසය යි ඔහු කියන්නේ ය.”</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">එක් සබත් දිනක ජේසුස් වහන්සේ කෙත් යායක් මැදින් ගමන් කරන විට උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කරල් කඩා අතින් පොඩි කර කෑ හ.</verse>
				<verse number="2">එවිට පරිසිවරුන්ගෙන් සමහරෙක්, “සබත් දිනයේ දී නොකටයුත්තක් ඔබ කරන්නේ මන්දැ”යි ඇසූ හ.</verse>
				<verse number="3">ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “දාවිත් රජු තමන්ට ද සිය පිරිවරට ද බඩගිනි වූ විට කළ දේ,</verse>
				<verse number="4">එනම්, දෙවියන් වහන්සේගේ ගෘහයට ඇතුළු ව, පූජකයන් මිස අන් කෙනෙකුන් අනුභව නොකළ යුතු, පිදූ රොටි කා, සිය පිරිවරටත් දුන් පුවත ඔබ කියවා නැද්දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක.</verse>
				<verse number="5">උන් වහන්සේ තවදුරටත් කතා කරමින්, “මනුෂ්‍ය-පුත්‍රයාණෝ සබත් දිනට පවා අධිපතියාණෝ ය”යි ඔවුන්ට වදාළ සේක.</verse>
				<verse number="6">තවත් සබත් දිනෙක උන් වහන්සේ ධර්මශාලාවට ඇතුළු ව ඉගැන්වූ සේක. දකුණු අත පණ නැති මිනිසෙක් එහි විය.</verse>
				<verse number="7">එවිට විනයධරයෝ ද පරිසිවරු ද උන් වහන්සේට විරුද්ධ ව චෝදනාවක් එල්ල කරන අටියෙන් උන් වහන්සේ සබත් දිනයේ දී සුව කරනු ඇද්දැ යි බලමින් සිටියහ.</verse>
				<verse number="8">එහෙත්, උන් වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන, “නැඟිට මෙ‍හි මැද සිටින්නැ”යි අත පණ නැති මිනිසාට වදාළ සේක. ඔහු එහි නැඟිට සිටියේ ය.</verse>
				<verse number="9">එකල ජේසුස් වහන්සේ, “සබත් දිනයේ දී අප කළ යුත්තේ යහපත ද නොහොත් අයහපත ද, ප්‍රාණයක් ගැළවීම ද නොහොත් නැසීම ද යන ප්‍රශ්නය මම ඔබෙන් අසමි”යි වදාළ සේක.</verse>
				<verse number="10">උන් වහන්සේ ඔවුන් සියල්ලන් දෙස වටේට බලා, “ඔබේ අත දිගහරින්නැ”යි ඔහුට වදාළ සේක. ඔහු එසේ කෙළේ ය; අත සුව විය.</verse>
				<verse number="11">එවිට ඔව්හු කෝපයෙන් උමතු වී, “ජේසුස් වහන්සේට කුමක් කරමු දැ”යි තම තමන් අතර කතා කරගන්නට වූ හ.</verse>
				<verse number="12">තවද, ඒ දවස්වල දී උන් වහන්සේ යාච්ඤා කරන පිණිස කන්දකට නැඟී දෙවියන් වහන්සේට යාච්ඤා කරමින් මුළු රැය ගෙවූ සේක.</verse>
				<verse number="13">පහන් වූ කල උන් වහන්සේ සිය ශ්‍රාවකයන් කැඳවා, ඔවුන් අතරෙන් දොළොස් දෙනෙකු තෝරාගෙන, ඔවුන්ට ප්‍රේරිතයෝ යයි නම් තැබූ සේක.</verse>
				<verse number="14">ඔව්හු කවුරු ද යත්: උන් වහන්සේ විසින් පේදුරු යයි නම් කරන ලද සීමොන් සහ ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ද ජාකොබ් සහ ජොහන් ද පිලිප් සහ බර්තොලමෙව් ද</verse>
				<verse number="15">මතෙව් සහ තෝමස් ද අල්පෙවුස්ගේ පුත් ජාකොබ් සහ අන්ත ජාතිවාදියා යි නම් ලත් සීමොන් ද</verse>
				<verse number="16">ජාකොබ්ගේ පුත් ජූදස් සහ පසුව දෝහියා වූ ජූදස් ඉස්කාරියොත් ද යන මොවුහු ය.</verse>
				<verse number="17">උන් වහන්සේ ඔවුන් සමඟ කන්දෙන් බැස තැනිතලා බිමක නැවතී සිටි සේක; උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් මහා සමූහයක් ද, මුළු ජුදයෙන් හා ජෙරුසලමෙනුත්, තීර්හි සහ සීදොනයෙහි මුහුදුකරයෙනුත් උන් වහන්සේගේ දේශනා අසන්නට හා සිය රෝග සුව කරවාගන්නට ආ බොහෝ දෙනෙක් ද එහි වූ හ.</verse>
				<verse number="18">අශුද්ධාත්මයන්ගෙන් පීඩිත වූවෝ සුව කරනු ලැබූ හ.</verse>
				<verse number="19">උන් වහන්සේ කෙරෙන් අනුහස නික්ම ඔවුන් සියල්ලන් සුව කළ බැවින්, මුළු සමූහයා උන් වහන්සේගේ ඇඟට අත තබන්නට උත්සාහ කළහ.</verse>
				<verse number="20">එකල උන් වහන්සේ සිය ශ්‍රාවකයන් දෙස බලා මෙ‍සේ වදාළ සේක: “දිළිඳු වූ ඔබ භාග්‍යවන්තයෝ ය; මන්ද, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබගේ ය.</verse>
				<verse number="21">දැන් සාගිනි ඇති ඔබ භාග්‍යවන්තයෝ ය; මන්ද, ඔබ තෘප්තිමත් වනු ඇත. දැන් කඳුළු හෙළන ඔබ භාග්‍යවන්තයෝ ය; මන්ද, ඔබ සිනාසෙනු ඇත.</verse>
				<verse number="22">මනුෂ්‍ය-පුත්‍රයාණන් නිසා මිනිසුන් ඔබට වෛර බැඳ, ඔබ ප්‍රතික්ෂේප කොට, ඔබට නින්දා කොට, ඔබේ නාමය හෙළා දකින කල ඔබ භාග්‍යවන්තයෝ ය.</verse>
				<verse number="23">ඒ දවස්වල දී ප්‍රමෝද වන්න, ප්‍රීතියෙන් නටන්න; මක්නිසා ද යත්, ස්වර්ගයෙහි ඔබගේ පල විපාක ඉමහත් වනු ඇත; ඔවුන්ගේ පියවරු දිවැසිවරයන්ට ද එසේ ම කළහ.</verse>
				<verse number="24">අහෝ, ධනවත් ඔබට වන විපතක මහත! ඔබේ සැපවත් ජීවිතය ඔබ විඳ හමාර ය.</verse>
				<verse number="25">අහෝ, දැන් පුෂ්ටිමත් ව සිටින ඔබට වන විපතක මහත! ඔබට, සාගිනි වනු ඇත. අහෝ දැන් සිනාසෙන ඔබට වන විපතක මහත! ඔබ හඬා වැලපෙනු ඇත.</verse>
				<verse number="26">අහෝ, මිනිසුන් ඔබ පසසන විට ඔබට වන විපතක මහත! ඔවුන්ගේ පියවරුන් බොරු දිවැසිවරයන්ටත් කෙළේ එය ම ය.”</verse>
				<verse number="27">“මට සවන් දෙන ඔබට මෙ‍ය කියමි: ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න;</verse>
				<verse number="28">ඔබට සාප කරන්නන්ට සෙත් පතන්න; ඔබට ගැරහුම් කරන්නන් උදෙසා යාච්ඤා කරන්න;</verse>
				<verse number="29">ඔබේ එක කම්මුලකට අතුල් පහර දෙන අයට අනික් කම්මුල පාන්න; ඔබේ උතුරු සළුව පැහැර ගන්නාගෙන් ඔබේ අඳනය වුව ද වළක්වා නොගන්න.</verse>
				<verse number="30">ඔබෙන් ඉල්ලන හැමට ම දෙන්න; ඔබ සතු දේ පැහැර ගන්නාගෙන් යළිත් එය නොඉල්ලන්න.</verse>
				<verse number="31">අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැත්තහු ද ඔබත් ඔවුන්ට ඒ දේ ම කරන්න.</verse>
				<verse number="32">“ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරන්නහු නම්, ඉන් ඔබට කවර නම් ප්‍රශංසාවක් වේ ද? පව්කාරයෝ පවා තමන්ට ප්‍රේම කරන්නන්ට ප්‍රේම කරති.</verse>
				<verse number="33">ඔබට යහපත කරන්නන්ට පමණක් ඔබ යහපත කරන්නහු නම්, ඉන් ඔබට කවර නම් ප්‍රශංසාවක් වේ ද? පව්කාරයෝ පවා එසේ කරති.</verse>
				<verse number="34">ඔබ නැවත ලබන බලාපොරොත්තුවෙන් ණයට දෙන්නහු නම්, ඉන් ඔබට කවර නම් ප්‍රශංසාවක් වේ ද? පව්කාරයෝ පවා දෙන ප්‍රමාණය නැවත ලබන පිණිස පව්කාරයන්ට ණයට දෙති.</verse>
				<verse number="35">එහෙත්, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, යහපත කරන්න, ආපසු ලබන බලාපොරොත්තුවක් නැති ව ම ණයට දෙන්න. එවිට ඔබේ පල විපාක මහත් වේ; ඔබ පරමෝත්තමයාණන්ගේ පුත්‍රයෝ වන්නහු ය. මන්ද, කෙළෙහි ගුණ නොදත් අයට ද දුෂ්ටයන්ට ද උන් වහන්සේ කාරුණික ය.</verse>
				<verse number="36">ඔබේ පියාණන් වහන්සේ දයානුකම්පා ඇති ව සිටින්නාක් මෙ‍න් ම ඔබ ද දයානුකම්පා ඇති ව සිටින්න.”</verse>
				<verse number="37">“අනුන් විනිශ්චය නොකරන්න; එවිට ඔබත් විනිශ්චය කරනු නොලැබේ. අනුන් වරදට පත් නොකරන්න; එවිට ඔබත් වරදට පත් කරනු නොලැබේ; සමාව දෙන්න; එවිට ඔබට ද සමාව දෙනු ලැබේ.</verse>
				<verse number="38">අනුන්ට දෙන්න, එවිට ඔබටත් දෙනු ලැබේ. ඔව්හු නියම මිම්ම පිරී ඉතිරී යන තරමට එය සොලව සොලවා, තළ තළා ඔබගේ ඔඩොක්කුවට මැන දමන්නහු ය. ඔබ යම් මිම්මකින් මැන දෙන්නහු ද, ඒ මිම්මෙ‍න් ම ඔබටත් ආපසු මැන දෙනු ලැබේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="39">තවද, උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව වදාළ සේක: “අන්ධයෙකුට මඟ පෙන්වීමට අන්ධයෙකුට හැකි ද? ඔවුන් දෙදෙනා ම වළක වැටෙන්නේ නැද් ද?</verse>
				<verse number="40">ගෝලයා ගුරුවරයාට වඩා උසස් නොවේ. එහෙත්, පූර්ණ පුහුණුව ලත් සැම දෙන ම තම ගුරුවරයා හා සම වන්නෝ ය.</verse>
				<verse number="41">ඔබේ ම ඇසෙහි තිබෙන ලී කොටය නොබලා සහෝදරයාගේ ඇසෙහි තිබෙන ලී කුඩ සොයන්නේ මන් ද?</verse>
				<verse number="42">නොහොත් ඔබේ ම ඇසෙහි තිබෙන ලී කොටය නොබලා, ‘සහෝදරය, ඔබේ ඇසෙහි තිබෙන ලී කුඩ ඉවත ලන්නට ඉඩ දෙන්නැ’යි සහෝදරයාට කියන්නට ඔබට කෙසේ හැකි වේ ද? කෛරාටික ය, පළමු කොට ඔබේ ම ඇසින් ලී කොටය ඉවත ලන්න. එවිට සහෝදරයාගේ ඇසෙහි තිබෙන ලී කුඩ ඉවත ලන්න ඔබට මැනවින් පෙනෙනු ඇත.”</verse>
				<verse number="43">“නරක පල දෙන හොඳ ගසක් වත්, හොඳ පල දෙන නරක ගසක් වත් නැත.</verse>
				<verse number="44">එක එක ගස එහි පලවලින් හඳුනාගනු ලැබේ. මිනිස්සු කටු ගස්වලින් අත්තික්කා පල නෙළා නොගනිති; ගොකටු පඳුරකින් මිදි පල කඩා නොගනිති.</verse>
				<verse number="45">යහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ යහපත් දෙයින් යහපත් දෙය ද, අයහපත් මිනිසා අයහපත් දෙයින් අයහපත් දෙය ද උපදවයි. මන්ද, සිතෙන් උතුරා යන දෙය කටින් පිට වේ.”</verse>
				<verse number="46">“මා වදාරන දෙය නොකර, මට ‘ස්වාමීනි, ස්වාමීනි’යි කියන්නේ මන් ද?</verse>
				<verse number="47">මා වෙතට විත් මාගේ අනුශාසනා අසා ඒවා පිළිපදින අය කවරෙකුට සමාන දැ යි ඔබට පෙන්වමි.</verse>
				<verse number="48">ඔහු ගැඹුරට පොළොව කැණ, පර්වතය මත අත්තිවාරම දමා, ගෙයක් සෑදූ මිනිසෙකුට සමාන ය. ජල ගැල්මක් පැමිණ, සැඩ පහර ඒ ගෙට ගැසූ නමුත් එය මනා ලෙස ඉදි කොට තිබුණු බැවින් සොලවන්න නොහැකි විය.</verse>
				<verse number="49">එහෙත් වචනය අසා, නොපිළිපදින තැනැත්තා අත්තිවාරමක් නැති බිමෙ‍හි ගෙයක් තැනූ මිනිසෙකුට සමාන ය. සැඩ පහර ඒ ගෙට ගැසී ය, එවේලේ ම එය ඇද වැටුණේ ය. එහි විනාශය ද භයංකර විය.”</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">ජේසුස් වහන්සේ තමන් අදහස් කළ සියල්ල සෙනඟට කියා නිම කළ පසු කපර්ණවුමට ඇතුළු වූ සේක.</verse>
				<verse number="2">එක් ශතාධිපතියකුගේ ඉතා හිතවත් දාසයෙක් රෝගී ව මරණාසන්න ව සිටියේ ය.</verse>
				<verse number="3">ඔහු ජේසුස් වහන්සේ ගැන අසා, සිය දාසයා සුව කරන පිණිස වඩින මෙ‍න් උන් වහන්සේට අයැදිනු වස් ජුදෙව් ප්‍රජා මූලිකයන් උන් වහන්සේ වෙත යැවී ය.</verse>
				<verse number="4">ඔව්හු ජේසුස් වහන්සේ වෙත පැමිණ,</verse>
				<verse number="5">“ඔබගෙන් ඒ වරය ලබන්න ඔහු සුදුස්සෙකි, ඔහු අපේ ජාතියට හිත ඇති කෙනෙකි; තවද අපේ ධර්මශාලාව තනා දුන්නේත් ඔහු ය” කියා, උන් වහන්සේගෙන් උදක් ම ඉල්ලා සිටියහ.</verse>
				<verse number="6">එවිට ජේසුස් වහන්සේ ඔවුන් සමඟ වැඩිය සේක. උන් වහන්සේ ගෙදරට නුදුරු ව සිටිය දී ශතාධිපතියා මෙ‍සේ කියා උන් වහන්සේ වෙතට මිත්‍රයන් යැවී ය, “ස්වාමීනි, වෙහෙස නොවන්න, ඔබ මාගේ පියස්ස යටට වැඩමවාගැනීමට මම නොවටිමි.</verse>
				<verse number="7">මා ඔබ වෙතට නොපැමිණියේ ඒ නිසා ය. එහෙත් වචන මාත්‍රයක් පැවසුව මැනව. එවිට මාගේ මෙ‍හෙකරුවා සුවපත් වනු ඇත.</verse>
				<verse number="8">මම ද බලය ලත් අය යටතෙහි සිටින මිනිසෙක්මි. මා යටතෙහි ද හේවායෝ සිටිති. එක් අයෙකුට යන්නැ යි මා කී කල, ඔහු යයි; තව අයෙකුට එන්නැ යි කී කල, ඔහු එයි; මාගේ දාසයාට මෙ‍ය කරව යි කී කල, ඔහු එය කරයි.”</verse>
				<verse number="9">ජේසුස් වහන්සේ ඒ අසා, ඔහු ගැන මවිත වී, හැරී, තමන් පසුපස්සේ ආ පිරිසට; “මුළු ඉශ්රායෙල් ජනතාව අතර වත් මෙ‍තරම් මහා ඇදහිල්ලක් මා දැක නැතැ යි නුඹලාට කියමි”යි වදාළ සේක.</verse>
				<verse number="10">පණිවුඩකාරයෝ හැරී ගිය කල, ඒ දාසයා සුවපත් ව සිටිනු දුටහ.</verse>
				<verse number="11">ඉන්පසු ජේසුස් වහන්සේ නායින් නම් නුවරකට වැඩිය සේක. උන් වහන්සේගේ ශ්‍රාවකයෝ ද මහත් සමූහයක් ද උන් වහන්සේ පිරිවරා ගියහ.</verse>
				<verse number="12">උන් වහන්සේ නුවර දොරටුවට ළං වූ කල, මළ මිනියක් පිටතට ගෙනෙන ලද්දේ ය. මළ තැනැත්තේ, සිය මවගේ එක ම පුත්‍රයා ය. ඈ ද වැන්දඹුවකි. නුවරවාසී විශාල පිරිසක් ඈ සමඟ ආහ.</verse>
				<verse number="13">සමිඳාණන් වහන්සේ ඈ දැක අනුකම්පා කොට, “හැඬීම නවත්වන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="14">උන් වහන්සේ ළං වී දෙණට අත තැබූ සේක. එවිට දෙණ උසුලන්නෝ නැවතුණාහ. උන් වහන්සේ, “යෞවනය, නැඟිටින්නැ යි මම ඔබට කියමි”යි වදාළ සේක.</verse>
				<verse number="15">එවිට මළ මිනිසා නැඟිට හිඳගෙන කතා කරන්න පටන්ගත්තේ ය. උන් වහන්සේ ඔහු සිය මෑණියන්ට භාර දුන් සේක.</verse>
				<verse number="16">එකල සියල්ලෝ ම බිය පත් ව, “ශ්‍රේෂ්ඨ දිවැසිවරයෙක් අප අතර පහළ වී සිටියි. දෙවියන් වහන්සේ සිය සෙනඟ ගළවන්න වැඩිය සේකැ”යි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ.</verse>
				<verse number="17">උන් වහන්සේ ගැන මේ පුවත මුළු ජුදයෙහි ද අවට පෙදෙස්වල ද පැතිර ගියේ ය.</verse>
				<verse number="18">ජොහන්ගේ ගෝලයෝ ඔහුට මේ සියල්ල දැන්වූ හ. එවිට ජොහන් සිය ගෝලයන්ගෙන් දෙදෙනෙකු කැඳවා,</verse>
				<verse number="19">“වඩින්ට සිටින තැනැන් වහන්සේ ඔබ ද? නොහොත් වෙන කෙනෙකු අපේක්ෂා කරමු දැ”යි අසනු පිණිස සමිඳාණන් වහන්සේ වෙත ඔවුන් යැවී ය.</verse>
				<verse number="20">ඔව්හු උන් වහන්සේ වෙත පැමිණ, “ ‘වඩින්ට සිටින තැනැන් වහන්සේ ඔබ ද? නොහොත් වෙන කෙනෙකු අපේක්ෂා කරමු දැ’යි විමසනු වස් ස්නාවක ජොහන් අප ඔබ වෙත එවී ය”යි කී හ.</verse>
				<verse number="21">ඒ වේලාවේ දී ම උන් වහන්සේ බොහෝ දෙනෙකුගේ ලෙඩ රෝග සුව කර, අශුද්ධාත්ම දුරු කර, අන්ධයන් බොහෝ දෙනෙකුට පෙනීම දුන් සේක.</verse>
				<verse number="22">උන් වහන්සේ උත්තර දෙමින්, “යන්න, ඔබ ඇසූ දුටු දෙය ජොහන්ට දන්වන්න; අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, ලාදුරු රෝගීහු පවිත්‍ර කරනු ලබති, බිහිරෝ ඇසීම ලබති, මළාහු නැඟිටුවනු ලබති; දිළිඳුන්ට සුබ අස්න ප්‍රකාශ කරනු ලැබේ.</verse>
				<verse number="23">මා කෙරෙහි විශ්වාසය නැති කර නොගන්නා තැනැත්තේ භාග්‍යවන්තයෙකැ”යි ඔවුන්ට වදාළ සේක.</verse>
				<verse number="24">ජොහන්ගේ දූතයන් නික්ම ගිය විට උන් වහන්සේ ජොහන් ගැන පිරිසට කතා කරමින්, “ඔබ කුමක් බැලීමට වනයට ගියහු ද? සුළඟින් සැලෙන බට ගසක් ද?</verse>
				<verse number="25">කුමක් බැලීමට ගියහු ද? සිනිඳු පිළියෙන් සැරසුණු මිනිසෙකු ද? බලන්න, විසිතුරු වස්ත්‍ර හැඳ, සැප විහරණයෙන් කල් යවන්නෝ නම් රජ මැඳුරුවල සිටිති.</verse>
				<verse number="26">එසේ නම් ඔබ කුමක් බැලීමට ගියහු ද? දිවැසිවරයෙකු බැලීමට ද? එසේ ය, මම ඔබට කියමි; ඔහු දිවැසිවරයෙකුටත් වඩා ශ්‍රේෂ්ඨයෙකි,</verse>
				<verse number="27">‘බලන්න, මාගේ දූතයා ඔබ පෙරටුව යවමි, හෙතෙම ඔබ වඩිනා මඟ ඔබ ඉදිරියෙහි පිළියෙළ කරන්නේ ය’යි ශුද්ධ ලියවිල්ලේ ලියා ඇත්තේ මොහු ගැන ය.</verse>
				<verse number="28">මුළු මිනිස් සංහතිය තුළ ජොහන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් නැතැ යි මම ඔබට කියමි. එහෙත් දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි ඉතා සුළු තැනැත්තේ වුව ද ඔහුට වඩා ශ්‍රේෂ්ඨය”යි වදාළ සේක.</verse>
				<verse number="29">ඒ ඇසූ මුළු පිරිස ද අයකැමියෝ ද තමන් ජොහන්ගේ බව්තීස්ම-ස්නාපනය ලැබූ බැවින්, දෙවියන් වහන්සේ ධාර්මික බව පිළිගත්හ.</verse>
				<verse number="30">එහෙත් පරිසිවරු ද විනයධරයෝ ද ඔහුගෙන් බව්තීස්ම-ස්නාපනය නොලැබූ බැවින් තමන් පිළිබඳ දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ප්‍රතික්ෂේප කළහ.</verse>
				<verse number="31">තවදුරටත් උන් වහන්සේ මෙ‍සේ වදාළ සේක: “මේ පරම්පරාවෙහි මිනිසුන් කුමකට සමාන කරම් ද? කුමන දෙයකට මොවුහු සමාන ද? ඔව්හු වනාහි, වෙළඳ පොළේ හිඳ ඔවුනොවුන්ට හඬගා,</verse>
				<verse number="32">‘අපි ඔබට නළා පිම්බෙමු. ඔබ නැටුවේ නැත; අපි ඔබට විලාප කීමු, ඔබ හැඬුවේ නැතැ’යි කියන දරුවන් හා සමාන වෙති.</verse>
				<verse number="33">ස්නාවක ජොහන් නිරාහාර ව ද මිදියුසින් තොර ව ද සිටි කෙනෙකි; එබැවින් ‘ඔහු දුෂ්ටාත්මාවේශ වූවෙකැ’යි ඔබ කියන්නහු ය.</verse>
				<verse number="34">මනුෂ්‍ය-පුත්‍රයාණෝ කමින් බොමින් ආ සේක; ‘බලන්න, ඔහු කෑදරයෙකි, බේබද්දෙකි, අයකැමියන්ගේත්, පව්කාරයන්ගේත් යහළුවෙකි’යි ඔබ කියන්නහු ය.</verse>
				<verse number="35">දෙවියන් වහන්සේගේ ප්‍රඥාව නිවැරැදි බව එය පිළිගන්න සියලු දරුවන් මඟින් දිස් වන්නේ ය.”</verse>
				<verse number="36">එක් පරිසිවරයෙක් තමා සමඟ ආහාර වළඳන පිණිස ජේසුස් වහන්සේට ආරාධනා කෙළේ ය. උන් වහන්සේ පරිසිවරයාගේ ගෙදරට වැඩම කර, කෑමට හිඳගත් සේක.</verse>
				<verse number="37">ඒ නුවර විසූ පව්කාර ස්ත්‍රියක් උන් වහන්සේ පරිසිවරයාගේ ගෙදර කෑමට වැඩහුන් බව දැන, සුවඳ විලවුන් පිරුණු කිරිගරුඬ කරඬුවක් රැගෙන එතැනට ආවා ය.</verse>
				<verse number="38">ඈ උන් වහන්සේ පිටිපසින් පාමුල සිට හඬ හඬා, උන් වහන්සේගේ පාද කඳුළෙන් තෙමන්ට පටන්ගෙන, ඇගේ හිසකේවලින් පිසදමා, උන් වහන්සේගේ පාද සිඹ, සුවඳ විලේපනයෙන් ආලේප කළා ය.</verse>
				<verse number="39">උන් වහන්සේට ආරාධනා කළ පරිසිවරයා ඒ දැක: “මොහු දිවැසිවරයෙක් නම් තමාගේ ඇඟට අත තබන මේ පව්කාර ස්ත්‍රිය කවර තැනැත්තියක් ද කෙබඳු අඟනක් ද කියා දැනගනු ඇතැ”යි සිය සිතින් සිතුවේ ය.</verse>
				<verse number="40">ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “සීමොන්, ඔබට කිය යුතු කරුණක් ඇතැ”යි වදාළ සේක. ඔහු ද, “ගුරුදේවයෙනි, වදාළ මැනවැ”යි කී ය.</verse>
				<verse number="41">උන් වහන්සේ කතා කොට, “මුදල් ණයට දෙන එක්තරා මිනිසෙකුට ණයකාරයෝ දෙදෙනෙක් සිටියහ. එක් කෙනෙක් රිදී කාසි පන් සියයක් ද, අනිත් තැනැත්තා පණසක් ද ණය ව සිටියෝ ය.</verse>
				<verse number="42">ණය ගෙවීමට ඔවුන්ට කිසි වත්කමක් නැති වූයෙන් ඔහු ඒ දෙදෙනාට ම කමා කෙළේ ය. එබැවින් ඒ දෙදෙනාගෙන් කවරෙක් ඔහුට වැඩියෙන් ප්‍රේම කරනු ඇද්දැ”යි ඇසූ සේක.</verse>
				<verse number="43">සීමොන් උත්තර දෙමින්, “ඔහු, යමෙකුට වැඩියෙන් කමා වූයේ ද, ඒ තැනැත්තා යයි මම සිතමි”යි කී ය. එවිට උන් වහන්සේ, “ඔබේ පිළිතුර හරි ය”යි ඔහුට කියා,</verse>
				<verse number="44">ස්ත්‍රිය දෙසට හැරී, සීමොන්ට කතා කොට, “මේ ස්ත්‍රිය ඔබට පෙනෙනවා නොවේ ද? මම ඔබේ ගෙදරට ඇතුළු වුණෙමි, ඔබ මාගේ පාද සේදීමට වතුර නුදුන්නෙහි ය. එහෙත් මෑ සිය කඳුලින් මාගේ පාද තෙමා සිය හිසකේවලින් ඒවා පිසදැමුවා ය.</verse>
				<verse number="45">ඔබ මා සිම්බේ නැත. එහෙත්, මෑ මා ආවේලේ පටන් මාගේ පාද සිඹීම නතර නොකළා ය.</verse>
				<verse number="46">ඔබ මාගේ හිස තෙලින් ආලේප නොකෙළෙහි ය. එහෙත්, මෑ මාගේ පාද සුවඳ විලේපනයෙන් ආලේප කළා ය.</verse>
				<verse number="47">එබැවින් මම ඔබට කියමි, ඇගේ බොහෝ වූ පව් ඇයට කමා කරන ලද බව ඈ මට දැක් වූ ඇගේ ඉමහත් ප්‍රේමයෙන් ඔප්පු වේ. එහෙත්, යමෙකුට ස්වල්ප වශයෙන් කමා කරනු ඇද්ද, ඔහු ස්වල්ප වශයෙන් ප්‍රේමය දක්වනු ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="48">එවිට උන් වහන්සේ, “ඔබේ පව් ඔබට කමා කරන ලදැ”යි ඇයට වදාළ සේක.</verse>
				<verse number="49">උන් වහන්සේ සමඟ කෑමට සිටි අය, “පව් කමාව පවා දෙන මොහු කවරෙක් දැ”යි තම තමන් අතර විමසූ හ.</verse>
				<verse number="50">එහෙත් උන් වහන්සේ, “ඔබේ ඇදහිල්ල ඔබට ගැළවීම ගෙන දුන්නේ ය, ශාන්ති සිතින් යන්නැ”යි ඒ ස්ත්‍රියට වදාළ සේක.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">ඉන්පසු ජේසුස් වහන්සේ ධර්ම දේශනා කරමින් ද දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ සුබ අස්න ප්‍රකාශ කරමින් ද නගර සහ ගම්වල සැරිසැරූ සේක. උන් වහන්සේ සමඟ ශ්‍රාවකයෝ දොළොස්දෙනා ද</verse>
				<verse number="2">අශුද්ධාත්ම කෙරෙන් හා ලෙඩ රෝගවලින් සුවය ලත් සමහර ස්ත්‍රීහු ද තමන් කෙරෙන් දුෂ්ටාත්මයන් හත් දෙනෙකු දුරු කරනු ලැබූ මග්දලේනා නම් ලත් මරියා ද</verse>
				<verse number="3">හෙරොද්ගේ භාණ්ඩාගාරික වන කුසාගේ භාර්යාව වන ජෝවන්නා ද සුසානා ද සිය සම්පතින් උන් වහන්සේට උපස්ථාන කළ තවත් බොහෝ ස්ත්‍රීහු ද සිටියහ.</verse>
				<verse number="4">ඒ ඒ නුවරින් මිනිසුන් උන් වහන්සේ වෙත පැමිණ, මහා පිරිසක් රැස්වූ කල උන් වහන්සේ උපමාවකින් මෙ‍සේ වදාළ සේක:</verse>
				<verse number="5">“වපුරන්නෙක් බීජ වපුරන්න නික්මිණි; ඔහු වපුරන කල බීජ සමහරක් මඟ දිගේ වැටී පයින් පෑගිණි; අහසේ කුරුල්ලෝ ඒවා අවුළා කෑහ.</verse>
				<verse number="6">අන් සමහරක් ගල් බිමෙ‍හි වැටී පැළ වූ කෙණෙහි ම දිය සීරාව නැති බැවින් වියළී ගියේ ය.</verse>
				<verse number="7">අන් සමහරක් කටු පැළ අතර වැටිණි. කටු පැළ ද ඒ සමඟ ම වැඩී ඒවා යටපත් කර දැමී ය.</verse>
				<verse number="8">අන් සමහරක් සරු බිමේ වැටී, පැළ වූ විට එකකින් සිය ගුණයක් අස්වැන්න ඇති විය.” උන් වහන්සේ මෙ‍සේ වදාරා, තවදුරටත්, “සවන් ඇත්තෝ සවන් දෙත් වා!”යි හඬ නඟා වදාළ සේක.</verse>
				<verse number="9">උන් වහන්සේගේ ශ්‍රාවකයෝ, “ඒ උපමාවේ තේරුම කිමෙ‍ක් දැ”යි උන් වහන්සේගෙන් විමසූ හ.</verse>
				<verse number="10">උන් වහන්සේ ඔවුන්ට මෙ‍සේ වදාළ සේක: “දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ අබිරහස් පිළිබඳ අවබෝධය ඔබට දී ඇත. එහෙත්, දැක දැකත් නොදක්නා පිණිස ද අස අසාත් නොවටහාගන්නා පිණිස ද සෙසු අයට ඒවා උපමා මඟින් දෙනු ලැබේ.”</verse>
				<verse number="11">“උපමාවේ තේරුම මේ ය: බීජ නම් දෙවියන් වහන්සේගේ වචනය ය.</verse>
				<verse number="12">මඟ අසල වූවෝ නම් වචනය ඇසූ අය ය. එහෙත්, ඔවුන් අදහා ගැළවීම නොලබන පිණිස, යක්ෂයා අවුත් ඔවුන්ගේ සිත්වලින් වචනය පැහැර ගන්නේ ය.</verse>
				<verse number="13">ගල් බිමෙ‍හි වූවෝ නම්, වචනය අසා සතුටින් පිළිගන්න නමුත්, සිත්හි රඳා නොපවතින බැවින් කලකට පමණක් අදහා, පරීක්ෂා කාලයෙහි වැටී යන අය ය.</verse>
				<verse number="14">කටු අතර වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුයේ වචනය අසා ජීවිතයේ කම්කටොලුවලින් ද වස්තුවෙන් ද ඉඳුරන් පිනවීමෙ‍න් ද වචනය හිර වී සම්පූර්ණ පල නොදරන අය ය.</verse>
				<verse number="15">සරු බිමේ වැපුරූ බීජ යන්නෙන් අදහස් කරනුයේ අවංක, පිරිසිදු සිතකින් වචනය අසා, පිළිපැද, නොපසුබට වීර්යයෙන් පල දරන අය ය.”</verse>
				<verse number="16">“කිසිවෙකු පහනක් දල්වා බඳුනකින් වසන්නේ වත් යහනක් යට තබන්නේ වත් නැත; එහෙත්, ඇතුළු වන්නන්ට එළිය පෙනෙන පිණිස පහන්රුක උඩ තබති.</verse>
				<verse number="17">ඒ නිසා හෙළි කරනු නොලබන සැඟවුණු දෙයක් නැත; නොහොත් ප්‍රකාශයට පත් නොවන, හෙළි නොවන කිසි රහසක් ද නැත.</verse>
				<verse number="18">එබැවින් ඔබ සවන් දෙන්නේ කෙසේ දැ යි විමසිල්ලෙන් සිටින්න. මන්ද, යමක් ඇති තැනැත්තාට දෙනු ලැබේ; යමක් නැති තැනැත්තාගෙන්, තමාට ඇතැ යි සිතන දෙය පවා පැහැරගනු ලැබේ.”</verse>
				<verse number="19">උන් වහන්සේගේ මෑණියෝ ද සහෝදරයෝ ද උන් වහන්සේ වෙත ආහ. එහෙත්, සමූහයා නිසා උන් වහන්සේට ළං වන්න ඔවුන්ට නොහැකි විය.</verse>
				<verse number="20">එවිට, “ඔබේ මෑණියෝ ද සහෝදරයෝ ද ඔබ දකිනු රිසියෙන් පිටත සිටිති”යි උන් වහන්සේට දන්වනු ලැබී ය.</verse>
				<verse number="21">එහෙත් උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “මාගේ මෑණියෝත් මාගේ සහෝදරයෝත් නම් දෙවියන් වහන්සේගේ වචනය අසා එය පිළිපදින්නෝ වෙති”යි වදාළ සේක.</verse>
				<verse number="22">එක් දිනක් ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ ඔරුවකට නැඟී, “අපි එගොඩට යමු”යි ඔවුන්ට වදාළ සේක. එවිට ඔව්හු ඔරුව දියත් කළහ.</verse>
				<verse number="23">ඔවුන් යාත්‍රා කරද්දී උන් වහන්සේ නිදාගත් සේක. එකල චණ්ඩ මාරුතයක් නැඟී විල මත හැමී ය; ඔරුවට වතුර පිරෙත් ම ඔව්හු මහ අනතුරකට පත් ව සිටියහ.</verse>
				<verse number="24">ඔව්හු අවුත් උන් වහන්සේ පුබුදුවා, “ස්වාමීනි, ස්වාමීනි, අප විනාශ වෙන්න ළඟ ය”යි කී හ. උන් වහන්සේ පිබිද, මාරුතයට ද රළු තරංගවලට ද තර්ජනය කළ සේක. එවිට මාරුතය සංසිඳී නිශ්චලත්වයක් ඇති විය.</verse>
				<verse number="25">“ඔබේ ඇදහිල්ල කොයි දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ඔව්හු බිය ව, විස්මයට පත් වී, “මේ මොන විධියේ කෙනෙක් ද? සුළඟට හා ජලයට පවා මෙ‍තුමාණෝ අණ දෙති; ඒවා ද කීකරු වන්නේ ය”යි එකිනෙකාට කියාගත්හ.</verse>
				<verse number="26">ඔව්හු ගලීලය ඉදිරියෙහි වූ ගෙරසේනයන්ගේ රටට පැමිණියහ.</verse>
				<verse number="27">උන් වහන්සේ ගොඩ බසිත් ම, නුවරින් ආ දුෂ්ටාත්මාවේශ වූ මිනිසෙක් උන් වහන්සේට හමු විය. ඔහු බොහෝ කලක් ම නිර්වස්ත්‍ර ව, ගෙයක නොව, සොහොන් ගෙවල වාසය කෙළේ ය.</verse>
				<verse number="28">ඔහු ජේසුස් වහන්සේ දැක, මොරගසා, උන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටී, “පරමෝත්තම දෙවියන්ගේ පුත් ජේසුස් වහන්ස, ඔබත්, මාත් අතර මොන ගනුදෙනුවක් ද? මට වද නොදෙන මෙ‍න් අයැදිමි”යි මහ හඬින් කීවේ ය.</verse>
				<verse number="29">මෙ‍සේ කීවේ, ඒ මිනිසාගෙන් දුරු වන්න උන් වහන්සේ අශුද්ධාත්මයට අණ කළ බැවිනි. ඒ අශුද්ධාත්මය නොයෙක් වර ඔහුට ආවේශ වූ බැවින්, යදම්වලින් ද විලංගුවලින් ද බැඳ ඔහු මුර කරන ලද්දේ ය; එහෙත්, ඔහු ඒ බැඳුම් කඩා දැමී ය. දුෂ්ටාත්මය විසින් ඔහු පාළුකරයට පලවා හරින ලද්දේ ය.</verse>
				<verse number="30">“තාගේ නම කුමක් දැ”යි ජේසුස් වහන්සේ ඔහුගෙන් ඇසූ සේක. බොහෝ දුෂ්ටාත්මයන් ආවේශ ව සිටි නිසා, ඔහු, “සේනා”යි කී ය.</verse>
				<verse number="31">එවිට දුෂ්ටාත්මයෝ පාතාලයට යන පරිදි තමන් හට අණ නොකරන ලෙස උන් වහන්සේගෙන් ඉල්ලූ හ.</verse>
				<verse number="32">එතැන කන්දේ මහා ඌරු රැළක් ගොදුරු කමින් සිටියෝ ය. ඌරන්ට වැහෙන පිණිස දුෂ්ටාත්මයෝ උන් වහන්සේගෙන් අවසර ඉල්ලූ හ. උන් වහන්සේ අවසර දුන් සේක.</verse>
				<verse number="33">දුෂ්ටාත්මයෝ ඒ මිනිසාගෙන් දුරු ව ගොස් ඌරන්ට ආවේශ වූ හ; එකල ඌරු රැළ ප්‍රපාතයෙන් පහළ විලට වේගයෙන් දිව ගොස් ගිලී මළෝ ය.</verse>
				<verse number="34">ඌරු ගොව්වෝ සිදු වූ දේ දැක, පලා ගොස් නුවරෙහි ද ගම්මානයෙහි ද එපවත් දැන්වූ හ.</verse>
				<verse number="35">ඒ සිද්ධිය බලන පිණිස මිනිස්සු පිටත් ව අවුත්, ජේසුස් වහන්සේ වෙත පැමිණ, දුෂ්ටාත්මයන් දුරු කරනු ලැබූ මිනිසා ඇඳුම් ඇඳ, හොඳ සිහි කල්පනාවෙන් ජේසුස් වහන්සේගේ පාමුල ඉඳිනු දැක බිය වූ හ.</verse>
				<verse number="36">එය සියැසින් දුටු අය දුෂ්ටාත්මාවේශ ව සිටි මිනිසා සුවය ලැබූ සැටි ඔවුන්ට කී හ.</verse>
				<verse number="37">එවිට ගෙරසේනයන්ගේ ප්‍රදේශය අවටින් වූ මුළු සෙනඟ මහා භීතියට පැමිණ, තමන් වෙතින් අහක් ව යන ලෙස උන් වහන්සේගෙන් අයැදියහ. උන් වහන්සේ ද ඔරුවකට නැඟී පෙරළා වැඩිය සේක.</verse>
				<verse number="38">දුෂ්ටාත්මයන් දුරු කරනු ලැබූ මිනිසා උන් වහන්සේ සමඟ නවතින්න අවසර ඉල්ලී ය. එහෙත්, උන් වහන්සේ ඔහු යවමින්,</verse>
				<verse number="39">“ඔබේ ගෙදරට හැරී ගොස්, දෙවියන් වහන්සේ ඔබට කළ සියල්ල ම ප්‍රකාශ කරන්නැ”යි වදාළ සේක. ඔහු ගොස්, ජේසුස් වහන්සේ තමාට කොපමණ මහත් දේ කළ සේක් දැ යි නුවර පුරා ප්‍රචාරය කෙළේ ය.</verse>
				<verse number="40">ජේසුස් වහන්සේ ආපසු පැමිණි කල සමූහයා උන් වහන්සේ පිළිගත්හ. සියල්ලෝ ම උන් වහන්සේගේ පැමිණීම බලා සිටියහ.</verse>
				<verse number="41">එවිට, ධර්මශාලා ප්‍රධානියෙකු වන යායිරස් නම් කෙනෙක් අවුත්, ජේසුස් වහන්සේගේ පාමුල වැටී සිය නිවෙසට වඩින ලෙස උන් වහන්සේගෙන් උදක් ම ඉල්ලී ය.</verse>
				<verse number="42">එසේ කෙළේ දොළොස් වසරක් පමණ වයස් වන ඔහුගේ එක ම දියණියන් මරණාසන්න ව සිටි බැවිනි. උන් වහන්සේ වඩිනා කල සමූහයා උන් වහන්සේ ව තෙරපමින් ගියහ.</verse>
				<verse number="43">එකල කිසිවෙකුට සුව කළ නොහැකි වූ, දොළොස් වසරක් මහලේ රෝගයෙන් පෙළුණු ස්ත්‍රියක්</verse>
				<verse number="44">පසුපස්සෙන් අවුත්, උන් වහන්සේගේ සළුවේ දාවල්ල ස්පර්ශ කළා ය. ඒ ඇසිල්ලෙහි ම ඇගේ ලේ ගැලීම නැවතිණි.</verse>
				<verse number="45">එවිට ජේසුස් වහන්සේ, “මගේ ඇඟට අත තැබුවේ කවරෙක් දැ”යි ඇසූ සේක. එසේ නොකළ බව හැම දෙන ම කී කල්හි, පේදුරු කතා කොට, “ස්වාමීනි, සමූහයා ඔබට හැපෙමින් තෙරපෙමින් සිටිති”යි කී ය.</verse>
				<verse number="46">එහෙත්, ජේසුස් වහන්සේ, “කවුරු නමුත් මගේ ඇඟට අත තැබී ය; මන්ද මගෙන් අනුහස නික්ම ගිය බව මට දැනුණේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="47">කරුණ හෙළි වූ බව දුටු ඒ ස්ත්‍රිය වෙවුලමින් අවුත්, උන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටී ඈ උන් වහන්සේට අත තැබුවේ මන්ද කියාත්, එකෙණෙහි ම ඈ සුව වූ හැටිත් මුළු සමූහයා ඉදිරියෙහි ප්‍රකාශ කළා ය.</verse>
				<verse number="48">දියණියෙනි, ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කෙළේ ය; ශාන්ත සිතින් යන්නැ”යි උන් වහන්සේ ඇයට වදාළ සේක.</verse>
				<verse number="49">උන් වහන්සේ මෙ‍වදන් පවසද්දී ම, ධර්මශාලා නායකයාගේ ගෙදරින් කෙනෙක් අවුත්, “ඔබේ දුව මළා ය; ගුරුදේවයන් නොවෙහෙසන්නැ”යි කී ය.</verse>
				<verse number="50">ජේසුස් වහන්සේ ඒ අසා, “බිය නොවන්න, ඇදහිල්ලෙන් ම සිටින්න, ඈ සුව වනු ඇතැ”යි උත්තර දුන් සේක.</verse>
				<verse number="51">උන් වහන්සේ ගෙදරට පිවිසි කල, පේදුරු ද ජොහන් ද ජාකොබ් ද දැරියගේ පියා ද මව ද හැර අන් කිසිවෙකුට තමන් සමඟ ඇතුළු වන්න අවසර නුදුන් සේක.</verse>
				<verse number="52">සියල්ලෝ ම ඈ ගැන හඬමින් වැලපෙමින් සිටියහ. එහෙත්, උන් වහන්සේ කතා කොට, “නාඬන්න, ඈ මැරී නැත, ඈ නිදන්නී ය”යි වදාළ සේක.</verse>
				<verse number="53">ඔව්හු ඈ මළ බව දැන උන් වහන්සේ උපහාසයට ලක් කළහ.</verse>
				<verse number="54">එහෙත්, උන් වහන්සේ ඇගේ අත අල්ලා, “දැරිය නැඟිටින්නැ”යි ශබ්ද නඟා වදාළ සේක.</verse>
				<verse number="55">එවිට ඇගේ ප්‍රාණය නැවත ආයේ ය. ඈ එකෙණෙහි ම නැඟිට්ටා ය. ඇයට යමක් කන්න දෙන ලෙස උන් වහන්සේ අණ කළ සේක.</verse>
				<verse number="56">ඇගේ මවුපියෝ විස්මිත වූ හ; එහෙත්, මේ සිද්ධිය කිසිවෙකුට නොකියන ලෙස උන් වහන්සේ ඔවුන්ට අණ දුන් සේක.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">එකල උන් වහන්සේ ශ්‍රාවකයන් දොළොස් දෙනා කැඳවා, සියලු දුෂ්ටාත්මයන් කෙරෙහි බලය හා ආධිපත්‍යය ද රෝග සුව කිරීමේ වරය ද පවරා දී</verse>
				<verse number="2">දෙවියන් වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශ කරන පිණිසත්, රෝගීන් සුව කරන පිණිසත් ඔවුන් යැවූ සේක.</verse>
				<verse number="3">තවද උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “චාරිකාව සඳහා කිසිවක් නොගන්න; සැරයටියක් වත්, මල්ලක් වත්, රොටි වත්, මිලමුදල් වත්, කමිස දෙකක් වත් නොගන්න.</verse>
				<verse number="4">ඔබ යම් කිසි නිවෙසකට පිවිසි කල, එතැනින් පිටත් ව යන තුරු එහි ම නැවතී සිටින්න.</verse>
				<verse number="5">ඔබ නොපිළිගන්නා යම් පමණ දෙනෙක් ඇද්ද, ඒ නුවරින් නික්ම යන කල ඔවුන්ට විරුද්ධ ව සාක්ෂියක් වන පිණිස, ඔබේ පාද යට තිබෙන ධූලි ගසා දමන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="6">ඔව්හු පිටත් ව රට පුරා සුබ අස්න දේශනා කරමින් ද රෝග සුව කරමින් ද ගමින් ගමට ගියහ.</verse>
				<verse number="7">යුවරජ හෙරොද්, උන් වහන්සේ කළ සියල්ල අසා, අතිශයින් වියවුල් විය. එසේ වූයේ, ‘ජොහන් මළවුන් කෙරෙන් උත්ථාන වී ය’ කියාත්,</verse>
				<verse number="8">සමහරුන්, ‘එලියා පහළ වූයේ ය’ කියාත්, අන් සමහරුන්, ‘පෙර සිටි දිවැසිවරයන්ගෙන් කෙනෙක් උත්ථාන වී ය’ කියාත් කී බැවිනි.</verse>
				<verse number="9">එවිට හෙරොද්, “මම ජොහන්ගේ හිස සිඳ දැමීමි; එහෙත්, මට සැළ වී ඇති මෙ‍බඳු දේ කරන මේ තැනැත්තා කවරෙක් දැ”යි ඇසී ය. ඔහු උන් වහන්සේ දැකීමට වෑයම් කෙළේ ය.</verse>
				<verse number="10">ප්‍රේරිතයෝ ආපසු පැමිණ, තමන් කළ සියලු දේ උන් වහන්සේට දැන් වූ හ. එවිට උන් වහන්සේ ඔවුන් වෙන්කොට බෙත්සයිදා නම් නුවරකට ඉවත් ව ගිය සේක.</verse>
				<verse number="11">එහෙත් සමූහයෝ එපවත් අසා උන් වහන්සේ පසුපස්සේ ගියහ, උන් වහන්සේ ඔවුන් පිළිගෙන, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට වදාරා, සුවය අවශ්‍ය වූ අය සුව කළ සේක.</verse>
				<verse number="12">සවස් වේගෙන එත් ම, දොළොස් දෙනා උන් වහන්සේ වෙත අවුත්, “මෙ‍හි අප සිටින්නේ පාළු පෙදෙසක බැවින්, අවට නියම්ගම් හා ගොවි ජනපදවලට ගොස් නවාතැන් හා කෑම සපයාගන්නා පිණිස සමූහයා හැරිය මැනවැ”යි කී හ.</verse>
				<verse number="13">උන් වහන්සේ, “ඔබ ඔවුන්ට කෑමට යමක් දෙන්නැ”යි වදාළ සේක. “අප ළඟ නම්, රොටි පහකට හා මසුන් දෙදෙනෙකුට වඩා නැත; කළ යුතු දේ නම්, අප ගොස් මේ මුළු සෙනඟට කෑම මිල දී ගැනීම ය”යි ඔව්හු කී හ.</verse>
				<verse number="14">එසේ කීවේ, පුරුෂයන් පන්දහසක් පමණ එහි සිටි බැවිනි. එවිට උන් වහන්සේ, “ඔවුන් පණස් දෙනා බැගින් කාණ්ඩ වශයෙන් හිඳුවන්නැ”යි ශ්‍රාවකයන්ට වදාළ සේක.</verse>
				<verse number="15">ඔව්හු එසේ කොට, හැම දෙන ම හිඳගන්න සැලැස්සූ හ.</verse>
				<verse number="16">එකල උන් වහන්සේ රොටි පහත් මසුන් දෙදෙනාත් ගෙන, ස්වර්ගය දෙස බලා, ආශීර්වාදය පවසා, ඒවා කඩා, සමූහයා ඉදිරියෙහි තබන පිණිස ශ්‍රාවකයන්ට දුන් සේක.</verse>
				<verse number="17">සියල්ලෝ ම කා තෘප්තියට පැමිණියහ. ඔවුන් කෑ පසු ඉතිරි වූ කැබලිවලින් කූඩා දොළොසක් රැස් කරගන්නා ලදී.</verse>
				<verse number="18">ඉන්පසු උන් වහන්සේ තනියම යාච්ඤා කරද්දී ශ්‍රාවකයෝ උන් වහන්සේ සමඟ සිටියහ. එවිට උන් වහන්සේ, “මහජනයා මා කවරෙකැ යි කියද්දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක.</verse>
				<verse number="19">ඔව්හු, “සමහරු ‘ස්නාවක-ජොහන් ය’ කියාත් සමහරු ‘එලියා ය’ කියාත් අන් සමහරු, ‘ආදියෙහි සිටි දිවැසිවරයන්ගෙන් කෙනෙක් නැවත උත්ථාන වී ය’ කියාත් කියති”යි පිළිතුරු දුන්හ.</verse>
				<verse number="20">“එහෙත්, ඔබ! ඔබ මා කවරෙකු කියා කියන්නහු දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. “ඔබ දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුවරයාණෝ ය”යි පේදුරු පිළිතුරු දුන්නේ ය.</verse>
				<verse number="21">උන් වහන්සේ මෙ‍ය කිසිවෙකුට නොකියන ලෙස ඔවුන්ට තදින් අණ දුන් සේක.</verse>
				<verse number="22">තවද, “මනුෂ්‍ය-පුත්‍රයාණන් බොහෝ දුක් වේදනා විඳින්ටත්, ප්‍රජා මූලිකයන් ද නායක පූජකවරයන් ද විනයධරයන් ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්න හා මරනු ලබන්ටත් තෙ වන දින යළි මරණින් උත්ථාන කරනු ලබන්ටත් නියම ව ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="23">ජේසුස් වහන්සේ සියල්ලන්ට කතා කොට, “යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තමකම නසා, දිනපතා සිය කුරුසිය දරාගෙන මා අනුව ආවා වේ.</verse>
				<verse number="24">සිය ජීවිතය රැක ගන්න කැමැති යමෙක් වේ ද, ඔහු එය නැති කරගනියි; මා නිසා සිය ජීවිතය නැති කරගන්න යමෙක් වේ ද ඔහු එය රැකගනියි.</verse>
				<verse number="25">යමෙකු මුළු ලෝකය ලබාගත්තත් සිය ජීවිතය නැති කරගතහොත්, නැත්නම්, විනාශ කර ගතහොත් ඔහුට කුමන ලාභයක් ද?</verse>
				<verse number="26">යම් කෙනෙක් මා ගැනත්, මාගේ ධර්මය ගැනත් ලජ්ජා වන්නේ ද, මනුෂ්‍ය-පුත්‍රයාණන් තමන්ගේ ද පියාණන්ගේ ද ශුද්ධ දූතයන්ගේ ද තේජශ්‍රීයෙන් යුක්ත ව වඩිනා කල ඔහු ගැනත් ලජ්ජා වනු ඇත.</verse>
				<verse number="27">එහෙත්, මෙ‍හි සිටින්නන්ගෙන් ඇතැමෙ‍ක් දෙවියන් වහන්සේගේ රාජ්‍යය දකින තුරු කිසි සේත් මරණයට පත් නොවන්නාහ යි ඒකාන්ත ලෙස මම ඔබට කියමි”යි වදාළ සේක.</verse>
				<verse number="28">මේ වචන පවසා අට දිනකට පමණ පසු උන් වහන්සේ පේදුරු ද ජොහන් ද ජාකොබ් ද කැඳවාගෙන යාච්ඤා කරන පිණිස කන්දට නැඟුණු සේක.</verse>
				<verse number="29">යාච්ඤා කරද්දී, උන් වහන්සේගේ මූණුවර වෙනස් විය; උන් වහන්සේගේ වස්ත්‍ර ධවල කාන්තියෙන් බැබළිණි.</verse>
				<verse number="30">හදිසියේ මනුෂ්‍යයෝ දෙදෙනෙක් උන් වහන්සේ සමඟ කතා කරමින් උන්හ. ඔව්හු නම්: මෝසෙස් සහ එලියා ය.</verse>
				<verse number="31">ඔව්හු තේජශ්‍රීයෙන් යුක්ත ව පෙනී උන් වහන්සේ ජෙරුසලමෙහි දී ඉටු කරන්න යන ජීවිත පූජාව ගැන කතා කරමින් සිටියහ.</verse>
				<verse number="32">පේදුරු ද ඔහු සමඟ වූවෝ ද නිදිබර ව උන්හ. එහෙත් ඔව්හු නින්දෙන් අවදි ව, උන් වහන්සේගේ තේජශ්‍රීය ද උන් වහන්සේ සමඟ සිටි මිනිසුන් දෙදෙනා ද දුටහ.</verse>
				<verse number="33">තවද, මෝසෙස් සහ එලියා උන් වහන්සේ වෙතින් වෙන් ව යද්දී, පේදුරු තමා කුමක් කියන්නේ දැ යි නොදැන, “ස්වාමීනි, මෙ‍හි සිටීම අපට වාසනාවකි. එබැවින් මණ්ඩප තුනක් සාදමු; එකක් ඔබට ය, එකක් මෝසෙස්ට ය; එකක් එලියාට ය”යි කී ය.</verse>
				<verse number="34">ඔහු මෙ‍ය කියද්දී ම වලාකුළක් නැඟී ඔවුන් සිසාරා පැතිරිණි. වලාකුළ ඔවුන් වසාගත් කල ඔව්හු භීතියට පත් වූ හ.</verse>
				<verse number="35">එවිට, “මේ මාගේ පුත්‍රයාණෝ ය, මේ මා තෝරාගත් තැනැත්තාණෝ ය; මොහුට සවන් දෙන්නැ”යි වලාකුළෙන් හඬක් නික්මිණි.</verse>
				<verse number="36">ඒ හඬ නැඟුණු කල ජේසුස් වහන්සේ පමණක් සිටිනු දක්නා ලදී. ඔව්හු නිහඬ ව සියැසින් දුටු කිසිවක් ඒ දවස්වල දී කිසිවෙකුට නොපැවසූ හ.</verse>
				<verse number="37">පසුදින ඔවුන් කන්දෙන් බැස ආ කල උන් වහන්සේට මහ පිරිසක් හමු වූ හ.</verse>
				<verse number="38">ඒ පිරිසෙන් කෙනෙක් මොරගා, “ගුරුදේවයෙනි, මාගේ පුත්‍රයා දෙස අනුකම්පාවෙන් බලාවදාරන මෙ‍න් ඔබෙන් ඉල්ලමි. මේ මාගේ එක ම දරුවා ය.</verse>
				<verse number="39">ඔහුට ආත්මයක් ආවේශවෙයි, ඔහු හදිසියේ ම මොරගසයි. ඒ ආත්මය ඔහු පෙණ දමවමින්, සලිත කොට, බොහෝ සේ තළා පෙළා මිස, පහසුවෙන් ඔහු කෙරෙන් වෙන් ව නොය යි.</verse>
				<verse number="40">ඔහු දුරු කරන ලෙස ඔබේ ශ්‍රාවකයන්ගෙන් ඉල්ලීමි. එහෙත් ඔවුන්ට නොහැකි වී ය”යි කී ය.</verse>
				<verse number="41">ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “අහෝ! ඇදහිලි හීන මුරණ්ඩු පරම්පරාව, මා කොතෙක් කල් ඔබ සමඟ සිටිමින් ඔබ ගැන ඉවසන්න ද? ඔබේ පුත්‍රයා මෙ‍හි ගෙනෙන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="42">ඒ දරුවා එද්දී ම, දුෂ්ටාත්මය ඔහු බිම හෙළාදමා, දැඩි ලෙස ඔහු සලිත කෙළේ ය. එහෙත්, ජේසුස් වහන්සේ අශුද්ධාත්මයට තරවටු කොට, දරුවාට සුවය දී, ඔහු පියාට භාර දුන් සේක.</verse>
				<verse number="43">ඔවුන් සියල්ලෝ ම දෙවියන් වහන්සේගේ මහානුභාව ගැන විස්මිත වූ හ. උන් වහන්සේ සිදු කළ සියල්ල ගැන හැම දෙනා ම පුදුම ව සිටිය දී, උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට,</verse>
				<verse number="44">“මා කියන දේ සාවධාන ව සිතට ගන්න, මනුෂ්‍ය-පුත්‍රයාණෝ මිනිසුන් අතට පාවා දෙනු ලබන සේකැ”යි වදාළ සේක.</verse>
				<verse number="45">එහෙත් ඔවුන්ට ඒ කීම අවබෝධ නො වී ය. එය ඔවුන්ට නොවැටහෙන ලෙසින් සැඟවී තිබිණි. ඔව්හු ඒ කීම ගැන උන් වහන්සේගෙන් ඇසීමටත් බිය වූ හ.</verse>
				<verse number="46">තමන් අතරෙන් ශ්‍රේෂ්ඨතම තැනැත්තේ කවරෙක් දැ යි ඔවුන් අතර විවාදයක් මතු විය.</verse>
				<verse number="47">ජේසුස් වහන්සේ ඔවුන්ගේ සිත්හි නැඟුණු ඒ විවාදය දැන, කුඩා දරුවකු ගෙන තමන් ළඟ සිටුවා,</verse>
				<verse number="48">“මාගේ නාමයෙන් මේ කුඩා දරුවා පිළිගන්න යමෙක් වේ ද, ඔහු මා පිළිගන්නේ ය; යමෙක් මා පිළිගන්නේ ද, ඔහු මා එවා වදාළ තැනැන් වහන්සේ පිළිගන්නේ ය. කුමක් හෙයින් ද, ඔබ හැම අතර ඉතා ම සුළු තැනැත්තා ශ්‍රේෂ්ඨතම තැනැත්තා ය”යි වදාළ සේක.</verse>
				<verse number="49">ජොහන් කතා කරමින්, “ස්වාමීනි, එක් මිනිසෙක් ඔබගේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරු කරනු දුටිමු; ඔහු අපේ පක්ෂයට අයිති නැති නිසා ඔහුට තහනම් කෙළෙමු”යි කී ය.</verse>
				<verse number="50">එහෙත් ජේසුස් වහන්සේ, “තහනම් නොකරන්න, මන්ද; ඔබට විපක්ෂ නොවන තැනැත්තේ ඔබට පක්ෂ ය”යි වදාළ සේක.</verse>
				<verse number="51">තවද, උන් වහන්සේගේ ස්වර්ගාරෝහණ දිනය ආසන්න වූ කල, උන් වහන්සේ ජෙරුසලම බලා යන අධිෂ්ඨානයෙන්</verse>
				<verse number="52">තමන්ට පෙරටුව දූතයන් යැවූ සේක. ඔව්හු ගොස් උන් වහන්සේට අවශ්‍ය දේ පිළියෙළ කරන පිණිස සමාරීයයන්ගේ ගමකට ඇතුළු වූ හ.</verse>
				<verse number="53">එහෙත්, උන් වහන්සේ හුදෙක් ජෙරුසලමට ම යන්නට අදහස් කර සිටි බැවින් ඔව්හු උන් වහන්සේ නොපිළිගත්හ.</verse>
				<verse number="54">උන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ ජාකොබ් ද ජොහන් ද ඒ දැක, “ස්වාමීනි, මොවුන් විනාශ කරන පිණිස අහසින් ගිනි වැටෙන්නට අප අණ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි ඇසූ හ.</verse>
				<verse number="55">උන් වහන්සේ හැරී ඔවුන්ට තරවටු කළ සේක.</verse>
				<verse number="56">ඉන්පසු ඔව්හු අන් ගමකට ගියහ.</verse>
				<verse number="57">ඔවුන් මඟ බැස යද්දී එක් මිනිසෙක්, “ඔබ වහන්සේ යන ඕනෑ ම තැනකට වුව ද මමත් ඔබ අනුව එන්නෙමි”යි කී ය.</verse>
				<verse number="58">ජේසුස් වහන්සේ කතා කොට, “හිවලුන්ට බෙන ද අහසේ කුරුල්ලන්ට කැදලි ද ඇත; එහෙත් මනුෂ්‍ය-පුත්‍රයාණන්ට හිස තැබීමට වත් තැනක් නැතැ”යි ඔහුට වදාළ සේක.</verse>
				<verse number="59">උන් වහන්සේ තව කෙනෙකුට, “මා අනුව එන්නැ”යි වදාළ සේක. ඔහු: “ස්වාමීනි පළමුකොට මාගේ පියා භූමදාන කරන පිණිස යන්නට මට අවසර දුන මැනවැ”යි කී ය.</verse>
				<verse number="60">උන් වහන්සේ උත්තර දෙමින්, “මළවුන්ගේ භූමදානය මළවුන් ම කළා වේ; ඔබ ගොස් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශ කරන්නැ”යි ඔහුට වදාළ සේක.</verse>
				<verse number="61">තවත් කෙනෙක්, “ස්වාමීනි ඔබ අනුව එන්නෙමි; එහෙත් පළමුකොට මාගේ ගෙදර උදවියගෙන් සමු ගෙන ඊමට අවසර දුන මැනවැ”යි කී ය.</verse>
				<verse number="62">ජේසුස් වහන්සේ, “නගුලට අත තබා ආපසු බලන කිසිවෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සුදුසු නැතැ”යි ඔහුට වදාළ සේක.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">ඉන්පසු සමිඳාණන් වහන්සේ තවත් සැත්තෑ දෙනෙකු පත් කොට තමන් යන්න අදහස් කළ සියලු නගර හා පෙදෙස්වලට ඔවුන් දෙදෙනා බැගින් තමන්ට කලින් යැවූ සේක.</verse>
				<verse number="2">උන් වහන්සේ ඔවුන්ට මෙ‍සේ වදාළ සේක: “ගොයම නම් බහුල ය. ගොවීහු විරල ය. එබැවින් ගොයම් කැපීමට මෙ‍හෙකරුවන් එවන මෙ‍න් ගොයමේ හිමියාණන්ට යාච්ඤා කරන්න.</verse>
				<verse number="3">ඉතින් යන්න. වගවලසුන් මැදට බැටළු පැටවුන් යවන්නාක් මෙ‍න් මම ඔබ යවමි.</verse>
				<verse number="4">පසුම්බියක් හෝ මල්ලක් හෝ පා වහන් හෝ නොගෙන යන්න. මඟ දී ආචාර කිරීම් සඳහා පමා නොවන්න.</verse>
				<verse number="5">ඔබ යම් ගෙදරකට ඇතුළු වූ කල, පළමුකොට ‘මේ ගෙදරට සාමය වේ වා!’යි පතන්න.</verse>
				<verse number="6">සාමය ලබන්නට සුදුසු කෙනෙක් එහි සිටිත් නම් ඔබගේ සාම පැතුම ඔහු පිට රැඳෙනු ඇත. නැතහොත් එය ඔබ වෙත පෙරළා එනු ඇත.</verse>
				<verse number="7">ඔවුන් දෙන දෙය කමින් බොමින් ඒ ගෙදර ම නැවතී සිටින්න. මන්ද, මෙ‍හෙකරුවා සිය වේතනය ලැබිය යුතු ය; ගෙදරින් ගෙදරට නොයන්න.</verse>
				<verse number="8">ඔබ යම් නුවරකට ඇතුළු වූ කල ඔවුන් ඔබ පිළිගත්තොත්, ඔබ ඉදිරියෙහි තබන දේ වළඳන්න.</verse>
				<verse number="9">එහි සිටින රෝගීන් සුව කරන්න. ‘දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ වෙත පැමිණියේ ය’යි ඔවුන්ට ප්‍රකාශ කරන්න.</verse>
				<verse number="10">එහෙත් යම් නුවරකට ඇතුළු වූ කල ඔවුන් ඔබ නොපිළිගත්තොත්, ඒ නුවර වීදිවලට ගොස්,</verse>
				<verse number="11">‘අපේ පාදවල වැකුණු මේ නුවර දූවිලි පවා ඔබට විරුද්ධ ව අපි ගසා දමමු; ඒ කෙසේ වුවත් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ළං ව ඇති බව දැනගන්නැ’යි කියන්න.</verse>
				<verse number="12">මෙ‍ය මම ඔබට කියමි, ඒ දවසේ දී ඒ නුවරට වඩා සොදොමට සහනය ඇති වන්නේ ය.”</verse>
				<verse number="13">“එම්බා කොරාශීනය, ඔබට වන විපතක මහත! එම්බා බෙත්සයිදාව, ඔබට වන විපතක මහත! ඔබ තුළ කළ ප්‍රබල ක්‍රියා තීර්හි හා සීදොන්හි කළා නම්, මීට කලින් ගෝනි රෙදි හැඳ අළු තවරා ගෙන පසුතැවී සිත් හරවා ගැනීමට ඔවුන්ට ඉඩ තිබිණි.</verse>
				<verse number="14">එසේ වුව ද දේව විනිශ්චය දවසේ දී ඔබට වඩා තීර්ට හා සීදොනට සහනය ලැබෙන්නේ ය.</verse>
				<verse number="15">එම්බා කපර්ණවුම, ඔබ සගලොව දක්වා උසස් කරනු ලබන්නෙහි ද? නැත, පාතාලය දක්වා පහත හෙළනු ලබන්නෙහි ය.</verse>
				<verse number="16">ඔබගේ වචන අසන්නා මාගේ වචන අසයි; ඔබ ප්‍රතික්ෂේප කරන්නා මා ප්‍රතික්ෂේප කරයි; මා ප්‍රතික්ෂේප කරන්නා මා එවූ තැනැන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ ය.”</verse>
				<verse number="17">ඉන්පසු සැත්තෑ දෙනා ප්‍රීතියෙන් හැරී අවුත්, “ස්වාමීනි, ඔබගේ නාමයේ අනුහසින් දුෂ්ටාත්මයෝ පවා අපට අවනත වෙති”යි කී හ.</verse>
				<verse number="18">උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “සාතන් විදුලියක් මෙ‍න් අහසින් වැටෙනු දිටිමි.</verse>
				<verse number="19">බලන්න, සර්පයන් ද ගෝනුස්සන් ද පාගන්ටත්, සතුරාගේ මුළු ශක්තිය මැඬලන්ටත් මා ඔබට බලය පවරා ඇත; කිසිවකින් ඔබට අනතුරක් නොවෙයි.</verse>
				<verse number="20">එසේ වුව ද අශුද්ධාත්මයන් ඔබට යටත් වන නිසා සන්තෝෂ නොවන්න; ඔබගේ නාම ස්වර්ගයෙහි ලියා ඇති නිසා සන්තෝෂ වන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="21">ඒ පැයේ දී ම උන් වහන්සේ ශුද්ධාත්මයෙන් පූර්ණ වී උදන් අනමින්, “ස්වර්ගයටත් පොළොවටත් අධිපති වූ පියාණෙනි, ඔබ මේ දේවල් පැණවතුන් හා නැණවතුන් කෙරෙන් ආවරණය කොට බාලයන්ට අනාවරණය කළ බැවින් ඔබට තුති පුදමි. එසේය පියාණෙනි, ඔබට ප්‍රිය මනාප වූයේත් එය ම ය.</verse>
				<verse number="22">මාගේ පියාණන් වහන්සේ සියල්ල ම මට පවරා දී තිබේ. පුත්‍රයාණෝ කවරෙක් දැ යි පියාණන් වහන්සේ හැර අන් කිසිවෙක් නොදනිති. එසේ ම පුත්‍රයාණනුත්, පුත්‍රයාණන් විසින් පියාණන් වහන්සේ එළිදරව් කිරීමට තෝරාගනු ලැබූ අයත් හැර අන් කිසිවෙක් පියාණන් වහන්සේ කවරෙක් දැ යි නොදනිති”යි වදාළ සේක.</verse>
				<verse number="23">එවිට උන් වහන්සේ ශ්‍රාවකයන් සමඟ තනියම සිටිය දී ඔවුන්ට කතා කොට, “ඔබ නරඹන දේ දකින ඇස් භාග්‍යවන්ත ය.</verse>
				<verse number="24">මෙ‍ය මම ඔබට කියමි, ඔබ දකින දේ දකින්ටත්, ඔබ අසන දේ අසන්ටත් බොහෝ දිවැසිවරු ද රජවරු ද අපේක්ෂාවෙන් සිටියහ. එහෙත් ඔවුන් එය දුටුවේ වත් නැත, ඇසුවේ වත් නැතැ”යි වදාළ සේක.</verse>
				<verse number="25">එක්තරා විනයධරයෙක් නැඟිට, උන් වහන්සේ පරීක්ෂා කරමින් “ගුරුදේවයෙනි, සදාතන ජීවනය හිමි කරගනු සඳහා මා කුමක් කටයුතු දැ”යි ඇසී ය.</verse>
				<verse number="26">උන් වහන්සේ ද ඔහුට පිළිතුරු දෙමින්, “ව්‍යවස්ථාවලියෙහි ලියා ඇත්තේ කිමෙ‍ක් ද? ඔබ එය තේරුම්ගන්නේ කෙසේ දැ”යි ඇසූ සේක.</verse>
				<verse number="27">ඔහු උත්තර දෙමින්, “නුඹේ මුළු හෘදයෙන් ද නුඹේ මුළු ආත්මයෙන් ද නුඹේ මුළු වීර්යයෙන් ද නුඹේ මුළු බුද්ධියෙන් ද නුඹේ දෙවි වූ සමිඳාණන් වහන්සේටත්, නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙ‍න් නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න යනුයි” කී ය.</verse>
				<verse number="28">උන් වහන්සේ, “ඔබේ උත්තරය හරි ය. එසේ කරන්න, එවිට ඔබ ජීවත් වන්නෙහි ය”යි ඔහුට වදාළ සේක.</verse>
				<verse number="29">එහෙත් ඔහු තමන් නිවැරදි බව දක්වන්ට කැමැති ව “මාගේ අසල්වැසියා කවරෙක් දැ”යි ජේසුස් වහන්සේගෙන් ප්‍රශ්න කෙළේ ය.</verse>
				<verse number="30">ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මෙ‍සේ වදාළ සේක: “එක් මිනිසෙක් ජෙරුසලමෙන් ජෙරිකෝව බලා යද්දී, සොර මුළකට අසුවිය; සොරු ඔහුගේ වස්ත්‍ර පැහැරගෙන, ඔහුට තළා පෙළා, ඔහු අඩ පණ කොට දමා යන්නට ගියහ.</verse>
				<verse number="31">ඒ අතර එක් පූජකයෙක් අහම්බෙන් ඒ මඟ යනුයේ, ඔහු දැක පාරේ අනෙක් පැත්තෙන් ගියේ ය.</verse>
				<verse number="32">එසේ ම ලෙවීයයෙක් ද, එතැනට පැමිණ ඔහු දැක පාරේ අනෙක් පැත්තෙන් ගියේ ය.</verse>
				<verse number="33">එහෙත්, ඒ මඟින් ගමන්ගත් එක් සමාරිය ජාතික මිනිසෙක් ඔහු හුන් තැනට අවුත්, ඔහු දැක, අනුකම්පා උපදවා,</verse>
				<verse number="34">ඔහු වෙතට ගොස්, තෙල් හා මිදියුස ගල්වා, තුවාළ බැඳ, තමාගේ ම මෘගයා පිට හිඳුවා, තානායමට ගෙන ගොස් ඔහු බලාගත්තේ ය.</verse>
				<verse number="35">පසුවදා ඔහු රිදී කාසි දෙකක් ගෙන තානායම්කාරයාට දී, ‘මොහු බලාගන්න; මෙ‍යට වැඩියෙන් ඔබ වියදම් කරන යම් තරමක් ඇද්ද, නැවත ආ විට මම එය ඔබට ගෙවන්නෙමි’යි කී ය.</verse>
				<verse number="36">ඉදින් සොරුන් අතට අසුවූ ඒ තැනැත්තාට මෙ‍කී තිදෙනාගෙන් අසල්වැසියා වූයේ කවරෙක් ද කියා ඔබ සිතන්නෙහි ද?</verse>
				<verse number="37">“ඔහුට දයාව දැක්වූ තැනැත්තා ය”යි විනයධරයා කී ය. “ඔබත් ගොස් එසේ ම කරන්නැ”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක.</verse>
				<verse number="38">තවද ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ යද්දී, උන් වහන්සේ එක් ගමකට ඇතුළු වූ සේක. එවිට මාර්තා නම් එක් ස්ත්‍රියක් සිය නිවසට උන් වහන්සේ පිළිගත්තා ය.</verse>
				<verse number="39">ඇයට මරියා නම් සහෝදරියක් වූවා ය. ඈ සමිඳාණන් වහන්සේගේ පාමුල හිඳ උන් වහන්සේගේ ඉගැන්වීමට සවන් දුන්නා ය.</verse>
				<verse number="40">එහෙත් මාර්තා සත්කාර කටයුතු වැඩි වීමෙ‍න් කරදර වී සිටියා ය. ඈ උන් වහන්සේ වෙතට පැමිණ, “ස්වාමීනි, මාගේ සහෝදරිය පැත්තකට වී සත්කාර කටයුතු මා පිට ම පවරා සිටින හැටි ඔබ සලකන්නේ නැද් ද? එබැවින් මට උදව් කරන්නට ඈට කිව මැනවැ”යි කීවා ය.</verse>
				<verse number="41">එහෙත් සමිඳාණන් වහන්සේ උත්තර දෙමින්, “මාර්තා, මාර්තා, ඔබ බොහෝ දේ ගැන කරදර වෙමින් නළංගු වන්නෙහි ය.</verse>
				<verse number="42">එහෙත් අවශ්‍ය එක දෙයකි. මරියා යහපත් දෙය තෝරාගෙන ඇත; එය ඈ කෙරෙන් පැහැරගනු නොලැබේ ය”යි වදාළ සේක.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">උන් වහන්සේ එක් තැනක යාච්ඤා කරමින් සිටි සේක. එය නිම වූ පසු උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් එක් තැනැත්තෙක් කතා කොට, “ස්වාමීනි, ජොහන් තම ගෝලයන්ට ඉගැන්වූ ලෙස, අපටත් යාච්ඤා කරන්නට ඉගැන්නුව මැනවැ”යි කීවේ ය.</verse>
				<verse number="2">උන් වහන්සේ ඔවුන්ට මෙ‍සේ වදාළ සේක: “ඔබ යාච්ඤා කරන කල මෙ‍සේ කියන්න: ‘පියාණෙනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේ වා, ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේ වා.</verse>
				<verse number="3">අපේ දිනපතා ආහාරය දිනෙන් දින අපට දුන මැනව.</verse>
				<verse number="4">අපේ පව් අපට කමා කළ මැනව; මන්ද, අපට ණයගැති ව සිටින හැමට අප කමා වන බැවිනි. අප පරීක්ෂාවට නොපමුණුවනු මැනව.’ “</verse>
				<verse number="5">තවද උන් වහන්සේ ඔවුන්ට කතා කරමින්, “ඔබ අතර මිතුරෙකු ඇති තැනැත්තෙක් මහ රෑ ඔහු වෙත ගොස්, ‘මිත්‍රය, මට රොටි තුනක් දෙන්න;</verse>
				<verse number="6">ගමනක් යන මාගේ මිත්‍රයෙක් මා වෙත අවුත් සිටියි; ඔහුට දෙන්න කිසිවක් මා ළඟ නැතැ’යි කියන්නේ නම්,</verse>
				<verse number="7">ගේ ඇතුළේ සිට ඒ මිතුරා, උත්තර දෙමින්, ‘මට කරදර නොකරන්න, දැන් දොර වසා තිබේ; මාගේ දරුවෝ ද මා සමඟ ඇඳේ නිඳා සිටිති; නැඟිට යමක් ඔබට දෙන්නට නොහැකි ය’යි කියයි ද?</verse>
				<verse number="8">මම ඔබට මෙ‍ය කියමි, ඔහු සිය මිත්‍රකම සලකා නැඟිට ඔහු ඉල්ලන දේ ඔහුට නොදෙතත් ඔහුගේ ලජ්ජා නැති පෙරැත්තය නිසා නැඟිට, වුවමනා පමණ ඔහුට දෙනු ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="9">“මම ද ඔබට කියමි, ඉල්ලන්න, ඔබට දෙනු ලැබේ; සොයන්න, ඔබට සම්බ වේ; තට්ටු කරන්න, ඔබට දොර අරිනු ලැබේ.</verse>
				<verse number="10">මන්ද ඉල්ලන හැමට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටුකරන්නාට දොර හරිනු ලැබේ.</verse>
				<verse number="11">ඔබ අතරෙන් කවර පියෙක් තම පුත්‍රයා මාළුවකු ඉල්ලූ විට මාළුවා වෙනුවට සර්පයෙකු දෙයි ද?</verse>
				<verse number="12">නොහොත් බිත්තරයක් ඉල්ලූ විට ඔහුට ගෝනුස්සකු දෙයි ද?</verse>
				<verse number="13">මෙ‍සේ අයහපත් වූ ඔබ, ඔබේ දරුවන්ට යහපත් දේ දෙන්නට දන්නාහු නම්, ඊට කොපමණ වැඩියෙන්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මයාණන් නොදෙන සේක් ද?”</verse>
				<verse number="14">වරක්, උන් වහන්සේ ගොළු දුෂ්ටාත්මයෙකු දුරු කරමින් සිටි සේක. දුෂ්ටාත්මය දුරුවෙත් ම ගොළු මිනිසා කතා කෙළේ ය. සමූහයෝ පුදුම වූ හ.</verse>
				<verse number="15">එහෙත් ඔවුන්ගෙන් සමහරෙක් කතා කොට, “මොහු දුෂ්ටාත්මයන් දුරු කරන්නේ දුෂ්ටාත්මාධිපති වූ බෙල්සෙබුල්ගේ අනුහසින් ය”යි කී හ.</verse>
				<verse number="16">අන් සමහරු උන් වහන්සේ වචනයකින් අල්ලාගන්න පිණිස, ස්වර්ගයෙන් හාස්කමක් උන් වහන්සේගෙන් ඉල්ලූ හ.</verse>
				<verse number="17">උන් වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන මෙ‍සේ වදාළ සේක: “ඊට ම විරෝධී ව භේද වූ යම් රාජ්‍යයක් ඇද්ද එය පාළු වන්නේ ය, ඊට ම විරෝධී ව භේද වූ යම් ගෙදරක් ඇද්ද එය පිරිහී යන්නේ ය.</verse>
				<verse number="18">සාතන් ඔහුට ම විරෝධී ව භේද ව සිටී නම් ඔහුගේ රාජ්‍යය පවතින්නේ කෙසේ ද? මා දුෂ්ටාත්මයන් දුරු කරන්නේ බෙල්සෙබුල්ගේ අනුහසින් යයි ඔබ කියන්නාහු ය.</verse>
				<verse number="19">එහෙත් මම බෙල්සෙබුල්ගේ අනුහසින් දුෂ්ටාත්මයන් දුරු කරම් නම්, ඔබගේ අනුගාමිකයෝ කවරකුගේ අනුහසින් ඔවුන් දුරු කරද් ද? මෙ‍ලෙස ඔබේ අනුගාමිකයෝ ම ඔබේ තර්කය බිඳදමති.</verse>
				<verse number="20">එහෙත් මම දෙවියන් වහන්සේගේ අනුහසින් දුෂ්ටාත්මයන් දුරු කරම් නම්, සැබැවින් ම දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ කෙරෙහි උදා වී ඇත.</verse>
				<verse number="21">අවිආයුධ ගත් බලවන්තයකු සිය නිවස රක්නා කල ඔහු සතු දේපළ සුරක්ෂිත ව ඇත.</verse>
				<verse number="22">එහෙත් ඔහුට වඩා බලවන්තයෙක් අවුත් ඔහු මැඩපවත්වන්නේ නම්, ඔහු විශ්වාසය තැබූ ආයුධ පැහැරගෙන, කොල්ලකාගත් දේ බෙදාගන්නේ ය.</verse>
				<verse number="23">මාගේ පක්ෂයට නොවන්නා මට විපක්ෂ ය; මා සමඟ රැස් කිරීමට උදව් නොකරන්නා විසුරුවා දමන්නේ ය.”</verse>
				<verse number="24">“අශුද්ධාත්මය මිනිසකුගෙන් දුරු ව ගිය කල, ඔහු දිය නැති තැන්වල සැරිසරමින්, නවාතැනක් සොයන්නේ ය, එය නොලදහොත් ‘මා නික්ම ආ මාගේ නිවසට ආපසු යමි’යි කියන්නේ ය.</verse>
				<verse number="25">ඔහු එහි පැමිණි කල, නිවස අතුගා අස්පස් කොට තිබෙනු දකියි.</verse>
				<verse number="26">එවිට ඔහු ගොස් තමාට වඩා අශුද්ධ වූ තවත් ආත්මයන් සත් දෙනෙකු තමා කැටුව ගෙන එන්නේ ය. ඔව්හු ඒ නිවසට පිවිස එය අරක්ගනිති. එවිට ඒ පුද්ගලයාගේ දෙ වන තත්ත්වය පළමු තත්ත්වයට වඩා නපුරු වන්නේ ය.”</verse>
				<verse number="27">උන් වහන්සේ මෙ‍වදන් පවසද්දී, සමූහයා කෙරෙන් එක් ස්ත්‍රියක් හඬනඟා, “ඔබ දැරූ කුසය ද ඔබට කිරි දුන් පියයුරු ද භාග්‍යවන්ත ය”යි උන් වහන්සේට කීවා ය.</verse>
				<verse number="28">උන් වහන්සේ ද, “එසේ ය, දෙවියන් වහන්සේගේ වචනය අසා එය පිළිපදින අය ඊටත් වඩා භාග්‍යවන්ත ය”යි වදාළ සේක.</verse>
				<verse number="29">සමූහයා උන් වහන්සේ වෙත රැස් කකා එද්දී උන් වහන්සේ මෙ‍සේ වදාළ සේක: “මේ පරම්පරාව නපුරු එකකි; ඔව්හු හාස්කමක් සොයති. එහෙත් ජෝනා හැර වෙන හාස්කමක් ඔවුන්ට නොදෙනු ඇත.</verse>
				<verse number="30">ජෝනා නිනිවයේ වැසියන්ට යම්සේ ලකුණක් වී ද එසේ ම මනුෂ්‍ය-පුත්‍රයාණෝ මේ පරම්පරාවට ලකුණක් වන සේක.</verse>
				<verse number="31">දේව විනිශ්චය දවසේ දී, දකුණු දිශාවේ රැජින මේ පරම්පරාවේ මනුෂ්‍යයන්ට විරුද්ධ ව නැඟිට ඔවුන් වරදට පත් කරන්නී ය; ඈ සලමොන්ගේ ප්‍රඥාව අසනු වස් පොළොවේ සීමාන්තවල සිට පැමිණියා ය. බලන්න, සලමොන්ගේ ප්‍රඥාවට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙ‍හි තිබේ.</verse>
				<verse number="32">නිනිවයේ මනුෂ්‍යයෝ විනිශ්චය දවසේ දී මේ පරම්පරාව සමඟ නැඟී සිට ඔවුන් වරදට පත් කරන්නෝ ය; මන්ද, ජෝනාගේ ධර්ම දේශනා අසා ඔව්හු පසුතැවී සිත් හරවා ගත්හ. බලන්න, ජෝනාට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙ‍හි තිබේ.”</verse>
				<verse number="33">“යමෙක් පහනක් දල්වා ඇතුළු වන අයට එළිය දෙන පිණිස පහන්රුක මත තබනු මිස මුල්ලක වත්, බඳුනක් යට වත් එය නොතබයි.</verse>
				<verse number="34">ඔබේ සිරුරට පහන ඔබේ ඇස ය; ඇස් පෙනුම හොඳ නම් ඔබේ මුළු සිරුර ආලෝකවත් ය; ඇස් පෙනුම අඳුරු නම්, ඔබේ සිරුර අඳුරු වේ.</verse>
				<verse number="35">එබැවින් ඔබ තුළ ඇති එළිය අඳුරු නොවන ලෙස බලාගන්න.</verse>
				<verse number="36">එහෙයින් ඔබේ මුළු සිරුර කිසිදු අඳුරක් නැති ව බැබළේ නම්, දීප්තියෙන් දිළෙන පහනක් ඔබට එළිය දෙන්නාක් මෙ‍න්, එය සම්පූර්ණයෙන් ම එළිය වන්නේ ය.”</verse>
				<verse number="37">උන් වහන්සේගේ දේශනාවෙන් පසු එක් පරිසිවරයෙක් තමා සමඟ කෑමට වඩින මෙ‍න් උන් වහන්සේට ආරාධනා කෙළේ ය. උන් වහන්සේ ඇතුළු ව කෑමට වැඩහුන් සේක.</verse>
				<verse number="38">කෑම කන්නට පළමු ව උන් වහන්සේ අත් සේදීමේ පිළිවෙත ඉටු නොකළ බැව් දුටු පරිසිවරයා පුදුම විය.</verse>
				<verse number="39">සමිඳාණන් වහන්සේ ඔහුට මෙ‍සේ වදාළ සේක: “පරිසිවරුනි, ඔබ කෝප්පයේ ද පිඟානේ ද පිටපැත්ත සෝදා පිරිසුදු කරන්නාහු ය; එහෙත් ඔබගේ ඇතුළත තණ්හාවෙන් ද දුෂ්ට චේතනාවෙන් ද පිරී ඇත.</verse>
				<verse number="40">අඥානයෙනි, පිටපැත්ත මැවූ තැනැන් වහන්සේ ඇතුළු පැත්තත් නොමැවූ සේක් ද?</verse>
				<verse number="41">එසේ නම් ඔබට ඇති දෙයින් දන් දෙන්න. එවිට සියල්ල ම ඔබට පිරිසුදු වන්නේ ය.</verse>
				<verse number="42">“පරිසිවරුනි, ඔබට වන විපතක මහත! ඔබ සුවඳතලාවලින් ද සුදුදුරුවලින් ද සියලු පලාවලින් ද දසයෙන් කොටස දෙන නමුත් යුක්ති ධර්මය ද දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රේමය ද නොසලකා හරින්නාහු ය. ඔබ කළ යුතු ව තිබුණේ ඒ දේත් හැර නොදමා මේ දේත් ඉටු කිරීම ය.</verse>
				<verse number="43">පරිසිවරුනි, ඔබට වන විපතක මහත! ඔබ ධර්මශාලාවල දී උසස් ආසන ද වෙළෙඳාම් පළවල දී ගෞරවාචාර ද ලැබීමට ආශා ඇත්තාහු ය.</verse>
				<verse number="44">ඔබට වන විපතක මහත! ඔබ නොපෙනෙන සොහොන් ගෙවලට සමාන ය; ඒ මත ඇවිදින අය, නොදැන එසේ කරති.”</verse>
				<verse number="45">විනයධරයන්ගෙන් එක් තැනැත්තෙක් උත්තර දෙමින්, “ගුරුදේවයෙනි, ඔබ මෙ‍සේ කීමෙ‍න් අපටත් අපහාසයක්, කරන සේකැ”යි කී ය.</verse>
				<verse number="46">උන් වහන්සේ ඔහුට මෙ‍සේ පිළිතුරු දුන් සේක: “විනයධරයෙනි, ඔබට වන විපතක මහත! ඉසිලිය නොහැකි බර ඔබ මිනිසුන් පිට පටවන්නාහු ය. එහෙත් ඒ බරට ඔබගේ එක ඇඟිල්ලක් වත් නොතබන්නාහු ය.</verse>
				<verse number="47">ඔබට වන විපතක මහත! ඔබගේ පියවරුන් අතින් මැරුම්කෑ දිවැසිවරයන්ගේ සොහොන් කොත් ඔබ ගොඩනඟන්නාහු ය.</verse>
				<verse number="48">එසේ කිරීමෙ‍න් ඔබගේ පියවරුන්ගේ ඒ ක්‍රියා ඔබ අනුමත කරන බව සහතික කරන්නාහු ය; ඔව්හු ඔවුන් මැරූ හ. ඔබ ඔවුන්ගේ සොහොන් කොත් ගොඩනඟන්නාහු ය.</verse>
				<verse number="49">එහෙයින් දෙවියන් වහන්සේගේ ප්‍රඥාව පවසන ලෙස: ‘දිවැසිවරයන් ද ප්‍රේරිතයන් ද ඔවුන් වෙත යවන්නෙමි; මනුෂ්‍යයෝ ඔවුන්ගෙන් ඇතැමෙ‍කුට තළා පෙළා ඇතැමෙ‍කු මරාදමති.’</verse>
				<verse number="50">මෙ‍සේ ආබෙල්ගේ මරණයේ පටන්, පූජාසනය හා ශුද්ධස්ථානය අතර මරන ලද සෙකරියස්ගේ මරණය දක්වා,</verse>
				<verse number="51">ලෝකය මැවීමේ සිට වගුරුවන ලද සියලු දිවැසිවරයන්ගේ ලේ ගැන මේ පරම්පරාව වගකිව යුතු ය. එසේ ය, මේ පරම්පරාව ඒ ගැන වගකිව යුතු යයි මම ඔබට කියමි.</verse>
				<verse number="52">විනයධරයෙනි, ඔබට වන විපතක මහත! විද්‍යාවේ යතුරු ඔබ ගෙන ගියාහු ය; එහෙත් ඔබ ම ඇතුළු නොවූවහු ය; ඇතුළු වන්නන් ද වළක්වාලූවහු ය.”</verse>
				<verse number="53">උන් වහන්සේ එතැනින් ආ කල්හි විනයධරයෝ ද පරිසිවරු ද උන් වහන්සේ කටවචනයෙන් අල්ලාගනු වස් මාන බලමින්,</verse>
				<verse number="54">බොහෝ දේ ගැන, විවාදයට පොළඹවනු පිණිස උන් වහන්සේ අවුස්සාලීමට පටන්ගත්හ.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">ඒ අතරතුරේ දී ඔවුනොවුන් පෑගෙන තරමට දහස් ගණන් සමූහයක් රැස් ව සිටිය දී, උන් වහන්සේ පළමුකොට සිය ශ්‍රාවකයන්ට මෙ‍සේ වදාරන්න පටන්ගත් සේක: “පරිසිවරුන්ගේ කුහකකම නමැති මුහුන්වලින් පරෙස්සම් වන්න.</verse>
				<verse number="2">සැඟවී ඇති සෑම දේ ම හෙළි කරනු ලැබේ; සෑම රහසක් ම ප්‍රකාශ කරනු ලැබේ.</verse>
				<verse number="3">එබැවින් ඔබ අඳුරෙහි පැවසූ දේ එළියෙහි අසන්න ලැබේ; ඇතුළු ගබඩා වල දී කනට කොඳුරන ලද දෙය පියසි මුදුනෙන් පළ කරනු ලැබේ.”</verse>
				<verse number="4">“මාගේ මිත්‍රවරුනි, ශරීරය නසා ඉන්පසු අන් කිසිවක් කළ නොහැකි අයට බිය නොවන්නැ යි මම ඔබට කියමි.</verse>
				<verse number="5">එහෙත් ඔබ බිය විය යුත්තේ කවරකුට දැ යි මම ඔබට පෙන්වමි. ඔබ නැසුණු පසු නිරයේ හෙළීමට බලය ඇති තැනැන් වහන්සේට බිය වන්න; එසේ ය, උන් වහන්සේට බිය වන්නැ යි මම ඔබට කියමි.</verse>
				<verse number="6">“තුට්ටු දෙකකට ගේකුරුල්ලන් පස් දෙනෙකු විකුණනවා නොවේ ද? දෙවියන් වහන්සේ උන්ගෙන් එකකු වත් අමතක නොකරන සේක.</verse>
				<verse number="7">ඔබගේ හිසකෙස් සියල්ල පවා ගණන් කොට ඇත. බිය නොවන්න; ඔබ ගේකුරුල්ලන් රාශියකට වඩා අගනේ ය.”</verse>
				<verse number="8">“තවද යමෙක් මනුෂ්‍යයන් අබිමුවෙහි මා පිළිගත් බවට සාක්ෂි දරන්නේ ද, මනුෂ්‍ය-පුත්‍රයාණෝත් දෙවියන් වහන්සේගේ දූතයන් අබිමුවෙහි ඔහු පිළිගත් බවට සාක්ෂි දරන සේක.</verse>
				<verse number="9">එහෙත්, මනුෂ්‍යයන් අබිමුවෙහි මා ප්‍රතික්ෂේප කරන තැනැත්තේ දෙවියන් වහන්සේගේ දූතයන් අබිමුවෙහි දී ප්‍රතික්ෂේප කරනු ලැබේ යයි මම ඔබට කියමි.</verse>
				<verse number="10">මනුෂ්‍ය-පුත්‍රයාණන්ට විරුද්ධ ව යමක් කියන කවරෙකුට වුව ද කමාව ලැබෙන්නේ ය; එහෙත් ශුද්ධාත්මයාණන්ට, විරුද්ධ ව අපහාස කරන්නාට නම් කමාවක් නොලැබෙන්නේ ය.</verse>
				<verse number="11">ඔවුන් ධර්මශාලාවලට ද අධිපතීන් හා ආණ්ඩුකාරයන් ඉදිරියට ද ඔබ ගෙන යන කල, ඔවුන්ට උත්තර දෙන්නේ කෙසේ ද කියා වත්, කියන්නේ කුමක් ද කියා වත්, සිතමින් කරදර නොවන්න.</verse>
				<verse number="12">ඔබ කිය යුතු දේ ඒ මොහොතේ දී ම ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබට දන්වනු ඇත.”</verse>
				<verse number="13">සමූහයා අතරෙන් එක් තැනැත්තෙක් කතා කොට, “ගුරුදේවයෙනි, මා සමඟ අපේ උරුමය බෙදාගන්න මාගේ සහෝදරයාට කිව මැනවැ”යි උන් වහන්සේට කී ය.</verse>
				<verse number="14">එහෙත් උන් වහන්සේ කතා කරමින්, “මිත්‍රය, ඔබ කෙරෙහි නඩුකාරයෙකු, නොහොත් දේපළ බදෙන්නකු කොට මා පත් කෙළේ කවරෙක් දැ”යි ඔහුගෙන් ඇසූ සේක.</verse>
				<verse number="15">“තවද, සියලු ආකාර තණ්හාවලින් පරෙස්සම් වෙන්නට බලාගන්න; මනුෂ්‍යයකුට කොතරම් දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය ඒ පිට රඳා නැතැ”යි ඔවුන්ට වදාළ සේක. උන් වහන්සේ උපමාවක් කියමින් මෙ‍සේ වදාළ සේක;</verse>
				<verse number="16">“එක් ධනවතෙකුගේ වතුපිටිවල බොහෝ පලදාව ඇති විය.</verse>
				<verse number="17">එවිට ඔහු තම සිතින් කල්පනා කරමින්, මම කුමක් කරම් ද? මාගේ භවභෝග රැස් කර තබන්න ඉඩකඩ නැත.</verse>
				<verse number="18">මම මෙ‍සේ කරමි: මාගේ අටුකොටු කඩා දමා වඩා විශාල ඒවා ගොඩනඟා, ඒවායේ මාගේ සියලු ධනධාන්‍ය රැස් කොට තබා,</verse>
				<verse number="19">‘අවුරුදු ගණනාවකට සෑහෙන තරම් අගනා වස්තු සම්භාරයක් මෙ‍හි රැස් කොට තිබේ. විවේක සුවයෙන් කා බී ප්‍රීති වන්නැ’යි මට ම කියාගනිමි.</verse>
				<verse number="20">එහෙත් දෙවියන් වහන්සේ ඔහුට කතා කොට, ‘අඥානය, අද රාත්‍රියේ දී ඔබගේ ප්‍රාණය ඔබෙන් ගනු ලැබේ; එවිට ඔබ රැස් කොටගත් දෙය කවරෙකුට අයිති වන්නේ දැ’යි වදාළ සේක.</verse>
				<verse number="21">දෙවියන් වහන්සේ ඉදිරියෙහි පොහොසත් නොවී තමාට ම වස්තු රැස් කරගන්නා අය එවැනි ය.”</verse>
				<verse number="22">තවද උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට මෙ‍සේ වදාරන සේක්: “එහෙයින් මම ඔබට කියමි, කුමක් කමු ද කියා ජීවිතය ගැන වත්, කුමක් අඳිමු ද කියා ශරීරය ගැන වත් කරදර නොවන්න.</verse>
				<verse number="23">කෑමට වඩා ජීවිතය ද ඇඳුමට වඩා ශරීරය ද උතුම් ය.</verse>
				<verse number="24">කපුටන් ගැන කල්පනා කරන්න: උන් වපුරන්නේ නැත, කපන්නේත් නැත, උන්ට අටුකොටු නැත, ගබඩාවක් ද නැත. එහෙත් දෙවියන් වහන්සේ උන් පෝෂණය කරන සේක. ඔබ පක්ෂීන්ට වඩා කොතරම් අගනේ ද?</verse>
				<verse number="25">සිත් තැවුළෙන් ඔබගේ ආයු ප්‍රමාණය දික් කරගන්න ඔබ අතරෙන් කවරෙකුට පුළුවන් ද?</verse>
				<verse number="26">ඉදින් එවැනි සුළු දෙයක් වත් කරගන්නට ඔබට නොහැකි නම්, ඔබ අනෙක් කාරණා ගැන කරදර වන්නේ මන් ද?</verse>
				<verse number="27">මානෙල් මල් ගැන කල්පනා කරන්න; ඒවා නූල් කටින්නේ වත් වියන්නේ වත් නැත. එහෙත්, තමාගේ සකල රාජ තේජසින් සැරසී සිටි සලමොන් වුව ද මානෙල් මලක් සේ, විරාජමාන නොවී යයි මම ඔබට කියමි.</verse>
				<verse number="28">ඇදහිලි හීන තැනැත්තෙනි! කෙතෙහි අද තිබී හෙට උදුනෙහි දමනු ලබන තෘණ දෙවියන් වහන්සේ මෙ‍සේ සරසන සේක් නම්, ඊට කොපමණ වැඩියෙන් ඔබ නොසරසන සේක් ද?</verse>
				<verse number="29">එබැවින් ඔබ කුමක් කන්නේ ද කියා වත්, කුමක් බොන්නේ ද කියා වත් සොයමින් කරදර නොවන්න.</verse>
				<verse number="30">මේ සියල්ල ලෝකයේ සියලු ජාතීහු මුළු සිතින් සොයා යති; මේ දේවල් ඔබට අවශ්‍ය බව ඔබේ පියාණන් වහන්සේ දන්නා සේක.</verse>
				<verse number="31">එසේ නොව උන් වහන්සේගේ රාජ්‍යය සොයා යන්න, එවිට මේ දේවල් ද ඔබට දෙනු ලැබේ.</verse>
				<verse number="32">“කුඩා රැළ, බිය නොවන්න, ඔබට රාජ්‍යය දෙන්නට ඔබගේ පියාණන් වහන්සේ සැදී පැහැදී සිටින සේක.</verse>
				<verse number="33">ඔබ සතුදේ විකුණා දන් දෙන්න; නොදිරන පසුම්බි ද නොපිරිහෙන වස්තු ද ස්වර්ගයෙහි ඔබට සපයාගන්න. එහි දී ඒවාට සොරු ළං නොවෙති, කාවෝ ද නාස්ති නොකරති.</verse>
				<verse number="34">මන්ද, ඔබගේ වස්තුව කොතැන ද, ඔබගේ සිතත් එතැන ම ය.”</verse>
				<verse number="35">“ඔබගේ ඉඟ පටි බැඳගන්න, පහන් ද දල්වා තබාගන්න.</verse>
				<verse number="36">තම ස්වාමියා සරණ මංගල්‍යයෙන් පසු, පෙරළා අවුත් දොරට තට්ටු කළ වහා ම දොර හරිනු වස් ඔහුගේ ඊම බල බලා සිටින මනුෂ්‍යයන් හා සමාන ව සිටින්න.</verse>
				<verse number="37">ස්වාමියා එන කල දාසයන් අවදි ව සිටිනු ඔහු දුටුවොත් ඒ දාසයෝ භාග්‍යවන්තයෝ ය. ඇත්තෙන් ම මම ඔබට කියමි, ඔහු තමාගේ ඉඟ පටිය බැඳ ඔවුන් කෑමට හිඳුවා ඔවුන්ට උපස්ථාන කරන්නේ ය.</verse>
				<verse number="38">ඔහු දෙ වන යාමයේ දී හෝ තුන් වන යාමයේ දී හෝ අවුත් එලෙස ම දකින්නේ නම් ඒ දාසයෝ භාග්‍යවන්තයෝ ය.</verse>
				<verse number="39">එහෙත්, සොරා කොයි පැයේ දී එන්නේ දැ යි ගෙදර ස්වාමියා දැන සිටියේ නම්, ඔහු නොනිදා හිඳ, තමාගේ ගෙය බිඳීමට ඉඩ නොදෙන බව දැනගන්න.</verse>
				<verse number="40">එබැවින් ඔබත් සූදානම් ව සිටින්න. මෙ‍සේ කියන්නේ, ඔබ බලාපොරොත්තු නොවන පැයක දී මනුෂ්‍ය-පුත්‍රයාණන් වඩින නිසා ය.”</verse>
				<verse number="41">එවිට පේදුරු කතා කරමින්, “ස්වාමීනි, මේ උපමාව වදාරන්නේ අප උදෙසා ද, නැතහොත් සියල්ලන් උදෙසා දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය.</verse>
				<verse number="42">එවිට සමිඳාණන් වහන්සේ මෙ‍සේ පිළිතුරු දුන් සේක: “ඉදින් ස්වාමියා විසින් තම ගෙයි වැසියන්ට නියම වේලාවට ආහාර කොටස සපයන පිණිස ඔවුන් කෙරේ පත් කරනු ලබන විශ්වාසී, සිහි නුවණ ඇති ගබඩාකාරයා කවරෙක් ද?</verse>
				<verse number="43">ස්වාමියා ආ කල යම් දාසයකු සිය සේවයෙහි සිටිනු ඔහු දුටුවොත් ඒ දාසයා භාග්‍යවන්තයෙක් ය.</verse>
				<verse number="44">ඒ ස්වාමියා තමා සන්තක සියල්ල භාර ව ඔහු පත් කරන්නේ යයි ඇත්තෙන් ම මම කියමි.</verse>
				<verse number="45">එහෙත් ඒ දාසයා, ‘මාගේ ස්වාමියාගේ ඊම පමාවනු ඇතැ’යි සිතමින් දැසිදසුන්ට පහර දෙන්නටත් කා බී මත් වන්නටත් පටන් ගතහොත්,</verse>
				<verse number="46">ඔහු බලාපොරොත්තු නොවන දිනක දී, නොදන්නා පැයක දී ඒ දාසයාගේ ස්වාමියා අවුත් ඔහුට දරුණු ලෙස දඬුවම් කොට, අවිශ්වාසීන්ට නියම ඉරණම ඔහුටත් නියම කරන්නේ ය.</verse>
				<verse number="47">සිය ස්වාමියාගේ අදහස දැනගෙනත්, ඒ අදහස පරිදි කටයුතු සංවිධානය නොකළාවූ ද ක්‍රියා නොකළාවූ ද දාසයා බොහෝ පහර ලබන්නේ ය.</verse>
				<verse number="48">එහෙත් ඒ අදහස නොදැන, පහර ලැබීමට නිසි දේ කළ අය ස්වල්ප වශයෙන් පහර ලබන්නෝ ය. යමෙකුට බොහෝ දේ දෙන ලද්දේ ද, ඔහුගෙන් බොහෝ දේ බලාපොරොත්තු වනු ලැබේ; යමෙකුට බොහෝ දේ පවරන ලද්දේ ද, ඔහුගෙන් ඊටත් වැඩියෙන් බලාපොරොත්තු වනු ලැබේ.”</verse>
				<verse number="49">“පොළොව මත ගිනි ලන්න ආවෙමි. ගින්න දැනට ම ඇවිළී තිබේ නම් කොපමණ හොඳ ද!</verse>
				<verse number="50">මට එක්තරා බව්තීස්ම-ස්නාපනයක් ලබන්න තිබේ; එය ඉටු වන තුරු මම දැඩි සිත් වේදනාවෙන් පසු වෙමි.</verse>
				<verse number="51">පොළොවෙහි සාමය දෙන පිණිස ආවෙමි යි ඔබ සිතන්නාහු ද? එසේ නොවේ. මා ආවේ භේද ඇති කරන පිණිස යයි මම ඔබට කියමි.</verse>
				<verse number="52">මෙ‍වක් පටන් එක ගෙදර වසන පස් දෙනෙකුගෙන් දෙදෙනෙකුට විරුද්ධ ව තිදෙනෙක් ද තිදෙනෙකුට විරුද්ධ ව දෙදෙනෙක් ද භේද වන්නෝ ය.</verse>
				<verse number="53">පියා පුතාටත්, පුතා පියාටත්, මව දුවටත්, දුව මවටත්, නැන්දම්මා ලේලිටත්, ලේලිය නැන්දම්මාටත් විරුද්ධ ව භේද වන්නෝ ය.”</verse>
				<verse number="54">තවද උන් වහන්සේ සමූහයන්ට කතා කොට, “අවර දිගින් වලාකුළක් නඟිනු ඔබ දක්නා විට, ‘වර්ෂාවක් එන්නේ ය’යි ඔබ එවේලේ ම කියන්නහු ය; එසේ ම වහින්නේ ය.</verse>
				<verse number="55">දකුණු දිගින් සුළඟ හමන විට, ‘දැඩි ග්‍රීෂ්මයක් වන්නේ ය’යි ඔබ කියන්නහු ය; එසේ ම වන්නේ ය.</verse>
				<verse number="56">කෛරාටිකයෙනි, අහසේ ද පොළොවේ ද ලකුණු තෝරා දීමට ඔබ දන්නාහු ය; එහෙත් මේ නියමිත මොහොත ඔබ නොදන්නේ කෙසේ ද?”</verse>
				<verse number="57">“හරි දෙය කුමක් දැ යි ඔබ ම විනිශ්චය නොකරන්නේ මන් ද?</verse>
				<verse number="58">ඔබේ පැමිණිලිකාරයා සමඟ උසාවියට යන විට, මඟ දී ම ඔහු සමඟ බේරුමක් කර ගැනීමට බොහෝ වෙහෙස මහන්සි ගන්න. එසේ නොකළොත් සමහරවිට ඔහු ඔබ නඩුකාරයා වෙත ඇදගෙන යන්නේ ය; නඩුකාරයා ද ඔබ උසාවියේ නිලධාරියාට භාර දෙන්නේ ය; උසාවියේ නිලධාරියා ඔබ හිරගෙට යවන්නේ ය.</verse>
				<verse number="59">අන්තිම සතයට ගෙවන තුරු ඔබ එතැනින් පිටතට නොඑන්නෙහි යයි ඔබට කියමි.”</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">ඒ අවස්ථාවෙහි එහි සිටි සමහරෙක් කතා කොට, පිලාත් විසින් ගලීලයන් මරා ඔවුන්ගේ ලේ ඔවුන්ගේ ම යාග සමඟ මිශ්‍ර කළ අන්දම ගැන උන් වහන්සේට දැන්වූ හ.</verse>
				<verse number="2">උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “ඒ ගලීලයන් එබඳු විපතක් වින්ද බැවින් ඔව්හු අන් හැමට ම වඩා පාපී වූ හ යි ඔබ සිතන්නහු ද? එසේ නොවේ ය යි මම ඔබට කියමි.</verse>
				<verse number="3">පසුතැවී සිත් හරවා නොගතහොත් ඔබ හැම ද එසේ ම විනාශ වන්නහු ය.</verse>
				<verse number="4">සිලෝවම් හී බලකොටුව වැටී ඊට යට වී මළ දසඅට දෙන ජෙරුසලමෙහි විසූ අන් හැමට ම වඩා දුෂ්ට වූ හ යි ඔබ සිතන්නාහු ද?</verse>
				<verse number="5">එසේ නොවේ ය යි ඔබට කියමි. පසුතැවී සිත් හරවා නොගතහොත් ඔබ හැමට වන්නේත් එම විපත්තිය ම ය”යි වදාළ සේක.</verse>
				<verse number="6">උන් වහන්සේ උපමාවක් වදාරමින්, “එක් මිනිසකුගේ මිදි වත්තෙහි වැඩුණු අත්තික්කා ගසක් විය. ඔහු ඒ ගසේ ගෙඩි සොයා ආවේ ය. එහෙත් කිසිවක් සම්බ නො වී ය.</verse>
				<verse number="7">එවිට ඔහු උයන්ගොව්වාට කතා කරමින්, ‘බලන්න, දැන් අවුරුදු තුනක් ම මේ අත්තික්කා ගසේ ගෙඩි සොයා ආ නමුත් කිසිවක් සම්බ නො වී ය. ගස කපා දමන්න; එය පොළොවට බරක් ව තිබිය යුතු මන්දැ’යි කී ය.</verse>
				<verse number="8">ඔහු උත්තර දෙමින්, ‘ස්වාමීනි, එය වටකර හාරා පෝර දමන පිණිස මේ අවුරුද්දටත් තිබුණා වේ.</verse>
				<verse number="9">ඉන්පසු පල දැරුවොත් හොඳ ය; නැති නම් එය කපා දමන්නට පුළුවනැ’ “යි කී බව වදාළ සේක.</verse>
				<verse number="10">උන් වහන්සේ සබත් දිනක එක් ධර්මශාලාවක අනුශාසනා කරමින් සිටි සේක.</verse>
				<verse number="11">එහි දසඅට වසක් තිස්සේ අශුද්ධාත්මයක් නිසා දුර්වලකමින් පෙළුණු, කොයි අන්දමකින් වත් කෙළින් වෙන්නට බැරි ස්ත්‍රියක් වූවා ය.</verse>
				<verse number="12">ජේසුස් වහන්සේ ඈ දැක කැඳවා, “ස්ත්‍රිය, ඔබේ දුර්වල කමින් ඔබ මිදුණෙහි ය”යි කියා</verse>
				<verse number="13">ඈ පිට අත් තැබූ සේක. එකෙණෙහි ම ඈ කෙළින් සිට, දෙවියන් වහන්සේට ප්‍රශංසා කළා ය.</verse>
				<verse number="14">ජේසුස් වහන්සේ සබත් දිනයේ දී සුව කළ බැවින් ධර්මශාලා නායකයා කෝප ව සමූහයා අමතා, “වැඩපල සඳහා සදවසක් ඇත. සබත් දිනයේ නොව වෙන දවස්වල අවුත් සුවය ලබාගන්නැ”යි ඔවුන්ට කී ය.</verse>
				<verse number="15">සමිඳාණන් වහන්සේ ඔහුට උත්තර දෙමින්, “කෛරාටිකයෙනි, ඔබ හැම කෙනෙකු ම සබත් දිනයේ දී තමාගේ ගොනා හෝ කොටළුවා හෝ ගාලෙන් ලිහා වතුර දීමට ගෙන යනවා නොවේ ද?</verse>
				<verse number="16">එසේ නම්, දසඅට වසක් තිස්සේ සාතන් විසින් බඳිනු ලැබ සිටි, ආබ්‍රහම්ගේ දියණියක වූ මේ ස්ත්‍රිය ඒ බන්ධනයෙන් සබත් දිනයේ දී මුදන්න යුතු ව තිබුණා නොවේ දැ”යි වදාළ සේක.</verse>
				<verse number="17">මෙ‍සේ වදාළ විට උන් වහන්සේගේ සියලු විරුද්ධවාදීහු ලජ්ජාවට පත් වූ හ. මුළු සමූහයා ද උන් වහන්සේ කළ මහිමාන්විත ක්‍රියා සියල්ල ගැන අමන්දානන්දයට පත් වූ හ.</verse>
				<verse number="18">උන් වහන්සේ තවදුරටත් කතා කරමින්, “දෙවියන් වහන්සේගේ රාජ්‍යය කුමකට සමාන ද? එය කුමකට උපමා කරම් ද?</verse>
				<verse number="19">එක්තරා මිනිසෙකු තම වත්තෙහි රෝපණය කළ පසු වැඩී, මහ ගසක් වූ අබ ඇටයකට එය සමාන ය. අහසේ කුරුල්ලෝ අවුත් එහි අතු පතරෙහි ලැගුම් ගත්හ”යි වදාළ සේක.</verse>
				<verse number="20">යළිදු උන් වහන්සේ කතා කොට, “දෙවියන් වහන්සේගේ රාජ්‍යය කුමකට උපමා කරම් ද?</verse>
				<verse number="21">ස්ත්‍රියක විසින් පිටි නැළි තුනක් මුළුමනින් ම පිපෙනතෙක් එහි දමන ලද මුහුන් පිඬකට එය සමාන ය”යි වදාළ සේක.</verse>
				<verse number="22">උන් වහන්සේ ජෙරුසලම බලා යද්දී නගර හා ගම් නියම්ගම් මැදින් අනුශාසනා කරමින් වැඩි සේක.</verse>
				<verse number="23">එක් කෙනෙක් කතා කොට, “ස්වාමීනි, ගැළවීම ලබන්නෝ ස්වල්ප දෙනෙක් පමණක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙ‍සේ වදාළ සේක:</verse>
				<verse number="24">“පටු දොරෙන් ඇතුළු වන්නට වීර්ය කරන්න. මන්ද, බොහෝ දෙනෙක් ඇතුළු වන්නට සොයන නමුත් ඔවුන්ට නොහැකි වේ ය යි මම ඔබට කියමි.</verse>
				<verse number="25">ගෙදර ස්වාමියා නැඟිට දොර වැසූ පසු ඔබ පිටත සිට දොරට තට්ටු කරමින්, ‘ස්වාමීනි, අපට දොර හැරිය මැනවැ’යි කියන කල, ‘නුඹලා කොතැනින් ආවාහු දැ යි නොදනිමි’යි ඔහු පිළිතුරු දෙනු ඇත.</verse>
				<verse number="26">එවිට ඔබ: ‘අපි ඔබ සමඟ කෑවෙමු, බීවෙමු, ඔබ අපේ වීදිවල ඉගැන්වූ සේකැ’යි කියන්නහු ය.</verse>
				<verse number="27">එහෙත් ඔහු කතා කොට, ‘නුඹලා කොතැනින් ආවාහු දැ යි මම නොදනිමි. අදමිටුකම් කරන නුඹලා සියලු දෙනා ම මා කෙරෙන් පලා යව්’ යයි කියන්නේ ය.</verse>
				<verse number="28">ආබ්‍රහම් ද ඊසාක් ද ජාකොබ් ද සියලු දිවැසිවරයන් ද දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි සිටිය දී ඔබ පිටතට දමනු ලබන කල එහි විලාප කීම ද දත්මිටිකෑම ද ඇති වේ.</verse>
				<verse number="29">තවද, මනුෂ්‍යයෝ පෙරදිගින් හා අපරදිගින් ද උතුරු දිගින් හා දකුණු දිගින් ද පැමිණ දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි මංගල භෝජනයට අසුන් ගන්නෝ ය.</verse>
				<verse number="30">මෙ‍න්න, දැන් අන්තිමයන් ව සිටින සමහරු ප්‍රථමයෝ ද දැන් ප්‍රථමයන් ව සිටින සමහරු අන්තිමයෝ ද වන්නෝ ය.”</verse>
				<verse number="31">ඒ මොහොතේ දී ම පරිසිවරුන්ගෙන් සමහරෙක් පැමිණ, “මෙ‍තැනින් අහක් ව ගිය මැනව. මන්ද, හෙරොද් ඔබ මරනු රිසියෙන් සිටින්නේ ය”යි කී හ.</verse>
				<verse number="32">උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙ‍සේ වදාළ සේක: “ඔබ ගොස් ඒ හිවලාට මෙ‍සේ කියන්න: අදත්, හෙටත් මම දුෂ්ටාත්මයන් දුරු කොට රෝග සුව කරමි. තුන් වැනිදා මාගේ පරමාර්ථය මුදුන් පත් කරගන්නෙමි,</verse>
				<verse number="33">එසේ වුව ද, අදත්, හෙටත්, අනිද්දාත් මා චාරිකාවෙහි යෙදිය යුතු ය: කුමක් හෙයින් ද, දිවැසිවරයෙකුගේ මරණය ජෙරුසලමෙන් පිටත දී සිදුවිය නොහැකි ය.”</verse>
				<verse number="34">“අහෝ! ජෙරුසලම, දිවැසිවරයන් නසන, තී වෙත එවූ දූතයන්ට ගල් ගසන ජෙරුසලම! කිකිළියක ඇගේ පැටවුන් සිය පියාපත් යටට එක්රැස් කරගන්නාක් මෙ‍න්, තිගේ දරු කැල එක්රැස් කරගන්නට මම කී වරක් කැමැති වීම් ද? එහෙත් ඔබ කැමැති වූයේ නැත.</verse>
				<verse number="35">බලන්න, ඔබේ දේව මාලිගාව පාළු කරදමා තිබෙන හැටි! තවද, ‘සමිඳාණන් වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාට ආසිරි වේ වා’යි පවසන තුරු ඔබ මා යළි නොදක්නහු ය යි මම ඔබට කියමි.”</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">සබත් දිනක උන් වහන්සේ නායක පරිසිවරයෙකුගේ ගෙදරට කෑම පිණිස වැඩිය සේක. හැම දෙන ම උන් වහන්සේ දෙස සෝදිසියෙන් බලා සිටියහ.</verse>
				<verse number="2">දිය උදර රෝගයෙන් පෙළෙන මිනිසෙක් උන් වහන්සේ ඉදිරියෙහි සිටියේ ය.</verse>
				<verse number="3">ජේසුස් වහන්සේ කතා කරමින්, “සබත් දිනයේ දී සුව කිරීම යුතු ද අයුතු දැ”යි විනයධරයන් හා පරිසිවරුන්ගෙන් ප්‍රශ්න කළ සේක.</verse>
				<verse number="4">ඔව්හු නිහඬ ව සිටියහ. උන් වහන්සේ රෝගියා අතින් ගෙන ඔහුට සුවය දී යන්නට හැරිය සේක.</verse>
				<verse number="5">පසුව උන් වහන්සේ ඔවුන්ට කතා කරමින්, “යමෙකුට අයත් කොටළුවෙකු හෝ ගොනෙකු හෝ සබත් දවසේ දී ළිඳේ වැටුණොත් එවේලේ ම ඌ ගොඩට අදින්නේ නැද්දැ”යි ඇසූ සේක.</verse>
				<verse number="6">පිළිතුරක් දෙන්නට ඔව්හු අපොහොසත් වූ හ.</verse>
				<verse number="7">ආරාධනා ලත් අය ප්‍රධාන ආසන ලබාගන්නට සොයන බව දැක, උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව කියමින්,</verse>
				<verse number="8">“යමෙකුගේ විවාහ මඟුලකට කැඳවීමක් ඔබට ලැබුණොත් ප්‍රධාන ආසනයේ හිඳ නොගන්න.</verse>
				<verse number="9">යම් හෙයකින් ඔබට වඩා උසස් කෙනෙකු ද කැඳවනු ලැබුවොත්, ඔබ දෙදෙනා ම කැඳවූ තැනැත්තා අවුත්, ‘ඔය ස්ථානය මොහුට දෙන්නැ’යි ඔබට කීවොත්, ලජ්ජාවෙන් යුක්ත ව පහත් ම ස්ථානයට යන්නට සිදු වේ.</verse>
				<verse number="10">එහෙත්, ඔබ කැඳවනු ලැබූ කල ගොස් පහත් ම ස්ථානයෙහි හිඳගන්න; එවිට ඔබ කැඳවූ තැනැත්තේ අවුත්, ‘මිත්‍රය, ඉහළ තැනකට එන්නැ’යි ඔබට කීවොත් ඔබ සමඟ කෑමට හිඳින සියල්ලන් ඉදිරියෙහි ඔබ ගෞරව ලබන්නෙහි ය.</verse>
				<verse number="11">තමා ම උසස් කරගන්න හැම දෙනා ම පහත් කරනු ලබති; තමා ම පහත් කරගන්නා උසස් කරනු ලැබේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="12">උන් වහන්සේ තමන්ට ආරාධනා කළ තැනැත්තාට කතා කොට, “ඔබ රෑ කෑමක් හෝ දවල් කෑමක් හෝ පිළියෙළ කරන කල, ඔබේ මිතුරන්, සහෝදරයන්, නෑයන් හෝ පොහොසත් අසල්වාසීන් හෝ නොකැඳවන්න; එසේ කළොත් ඔවුන් ද එසේ ම ඔබත් කැඳවනු ඇත. එයින් ඔබට එහි විපාකය ලැබෙයි.</verse>
				<verse number="13">එහෙත් ඔබ භෝජන සංග්‍රහයක් පිළියෙළ කරන කල, දිළිඳුන් ද අබ්බගාතයන් ද කොරුන් ද අන්ධයන් ද කැඳවන්න.</verse>
				<verse number="14">ඔබට ප්‍රතිවිපාකයක් දෙන්නට ඔවුන්ට නොහැකි බැවින් ඔබ භාග්‍යවන්ත වන්නෙහි ය. ධර්මිෂ්ඨයන්ගේ පුනරුජ්ජීවනයේ දී ඔබට ප්‍රතිවිපාකයක් ලැබෙන්නේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="15">එහි සිටි අයගෙන් කෙනෙක් එවදන් අසා, “දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි දී ආහාර වළඳන තැනැත්තේ භාග්‍යවන්තයෙකැ”යි ජේසුස් වහන්සේට කී ය.</verse>
				<verse number="16">එහෙත් උන් වහන්සේ කතා කරමින් මෙ‍සේ වදාළ සේක: “එක් මිනිසෙක් මහා මංගල භෝජනයක් පිළියෙළ කොට බොහෝ දෙනෙකු කැඳැවී ය.</verse>
				<verse number="17">භෝජන වේලාව පැමිණෙත් ම, ‘එන්න, දැන් සියල්ල සූදානම් ව ඇතැ’යි කැඳවනු ලැබූවන්ට කියනු පිණිස ඔහු සිය දාසයා යැවී ය.</verse>
				<verse number="18">එහෙත්, ඔව්හු සියල්ලෝ ම නෑවිත් සිටීමට එකහෙළා කරුණු කියන්නට පටන් ගත්හ. පළමුවැන්නා, ‘මම කෙතක් මිළ දී ගතිමි, එය බලන්නට යාම අවශ්‍ය ම ය. මට කමා වන මෙ‍න් ඉල්ලමි’යි ඔහුට කී ය.</verse>
				<verse number="19">තව කෙනෙක්, ‘මම ගොන් පස් බානක් මිළ දී ගතිමි; ඔවුන් වැඩට හොඳ ද කියා අත්හදා බලන්න යමි; මට කමා වන මෙ‍න් ඉල්ලමි’යි ඔහුට කී ය.</verse>
				<verse number="20">තවත් කෙනෙක්, ‘මම ස්ත්‍රියක විවාහ කර ගතිමි; එබැවින් එන්න නොහැකි ය’යි කී ය.</verse>
				<verse number="21">ඒ දාසයා පෙරළා පැමිණ සිය ස්වාමියාට එපවත් දැන්වී ය. එවිට ගෘහපතියා කෝප ව, ‘වහා ම නුවර වීදිවලට ද පටු මාවත්වලට ද යව, දිළිඳුන් ද අබ්බගාතයන් ද අන්ධයන් ද කොරුන් ද මෙ‍හි ගෙනෙව’යි සිය දාසයාට කී ය.</verse>
				<verse number="22">දාසයා ද, ‘ස්වාමීනි ඔබ අණ කළ ලෙස කෙළෙමි. එහෙත් තවත් ඉඩකඩ ඇතැ’යි කී ය.</verse>
				<verse number="23">එවිට ස්වාමියා දාසයාට කතා කොට, ‘මහ මාවත්වලට ද දෙවටවලට ද යව, මාගේ ගෙය පිරී යන තරම් සෙනඟට එන්නට බල කරව, ‘යි කී ය.</verse>
				<verse number="24">මම ඔබට කියමි, ආරාධිතයන් අතුරෙන් එකෙක් වත් මාගේ මංගල භෝජනයේ රස නොබලන්නේ ය.”</verse>
				<verse number="25">තවද මහා ජනකායක් ජේසුස් වහන්සේ සමඟ ගමන් ගත්හ. උන් වහන්සේ හැරී ඔවුන්ට මෙ‍සේ වදාළ සේක:</verse>
				<verse number="26">“මා වෙත එන තැනැත්තේ මට වඩා තම පියාට ද මවට ද භාර්යාවට ද දරුවන්ට ද සහෝදරයන්ට ද සහෝදරියන්ට ද තමාගේ ම ජීවිතයට වුව ද ප්‍රේම කරන්නේ නම්, ඔහුට මාගේ ශ්‍රාවකයෙකු විය නොහැකි ය.</verse>
				<verse number="27">කුරුසිය දරා ගෙන, මා අනුව නොඑන තැනැත්තාට මාගේ ශ්‍රාවකයෙකු විය නොහැකි ය.</verse>
				<verse number="28">ඔබ අතුරෙන් යමෙක් මුර අටල්ලක් ගොඩනැඟීමට අදහස් කරයි නම්, එය නිම කරලීමට කොතරම් වියහියදම් ඇද්දැ යි පළමුකොට හිඳ ගණන් නො බලන්නේ ද?</verse>
				<verse number="29">එසේ නොකළොත්, අත්තිවාරම දමා ඒ අටල්ල නිමකරන්නට නොහැකි වූ විට, එය දකින සියල්ලන්,</verse>
				<verse number="30">‘මේ මිනිසා ගොඩනඟන්නට පටන්ගත් නමුත් නිම කරන්නට ඔහුට බැරි වී යයි කියා සරදම් කරනු ඇත.</verse>
				<verse number="31">තවද, තමන්ට විරුද්ධ ව විසි දහසක් රැගෙන යුද පිණිස එන රජෙකුට මුහුණ පෑමට දස දහසක් රැගෙන යා හැකි දැ යි පළමුකොට හිඳ නොවිමසන කිසි යම් රජෙක් ඇද් ද?</verse>
				<verse number="32">එසේ කළ නොහැකි නම්, ඔහු ඒ රජ දුර සිටිය දී ම, රාජ දූතයන් යවා, සාම ගිවිසුමක් ඉල්ලා සිටිනු ඇත.</verse>
				<verse number="33">එමෙ‍න් ම ඔබ අතුරෙන් තමන් සතු සියල්ල අත් නොහරින කිසිවෙකුට මාගේ ශ්‍රාවකයෙකු වන්නට බැරි ය.”</verse>
				<verse number="34">“ලුණු හොඳ දෙයකි; එහෙත් ලුණෙහි වුව ද, ලුණු ගතිය නැති වුවහොත්, එයට ලුණු රස කවන්නේ කුමකින් ද?</verse>
				<verse number="35">පසට වත්, කසළ ගොඩට වත් එයින් වැඩක් නැත; මිනිස්සු ඒවා ඉවත දමති. සවන් ඇත්තෝ සවන් දෙත්වා!”</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">එක් දිනක් සියලු අයකැමියෝ ද පව්කාරයෝ ද ජේසුස් වහන්සේට සවන් දෙන පිණිස උන් වහන්සේ සමීපයට ආහ.</verse>
				<verse number="2">පරිසිවරු ද විනයධරයෝ ද කතා කොට, “මොහු පව්කාරයන් පිළිගෙන ඔවුන් සමඟ කන්නේ ය, බොන්නේ ය”යි මැසිවිලි කීවෝ ය.</verse>
				<verse number="3">එවිට උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව වදාළ සේක:</verse>
				<verse number="4">“ඔබ අතුරෙන් බැටළුවන් සියයක් ඇති කවර මනුෂ්‍යයෙක්, උන්ගෙන් එකෙකු නැති වුවහොත්, අනූ නව දෙනා පාළුකරයෙහි හැරදමා, නැති වූ එකා පසුපස්සේ ගොස්, ඌ සම්බ වන තුරු සොයන්නේ නැද් ද?</verse>
				<verse number="5">ඒ බැටළුවා සම්බ වූ විට ඔහු ප්‍රීති වෙමින්, ඌ කර තබාගෙන,</verse>
				<verse number="6">ගෙදර අවුත් මිතුරන් ද අසල්වැසියන් ද කැඳවා, ‘මා සමඟ ප්‍රීති වන්න, මාගේ නැති වූ බැටළුවා සම්බ වී ය’යි ඔවුන්ට කියයි.</verse>
				<verse number="7">එලෙස ම පසුතැවී සිත් හරවා ගැනීමට වුවමනා ව නැතැ යි සිතන සිල්වතුන් අනූ නව දෙනෙකුට වඩා පසුතැවී සිත හරවා ගන්න එක පව්කාරයකු ගැන ස්වර්ගයෙහි ප්‍රීතිය ඇති වන්නේ ය යි මම ඔබට කියමි.”</verse>
				<verse number="8">තවද උන් වහන්සේ මෙ‍සේ වදාළ සේක: “රිදී කාසි දසයක් ඇති කවර ස්ත්‍රියක හෝ ඉන් එකක් නැති වුවහොත් පහනක් දල්වා, ගෙය අතුගා, එය සම්බ වන තුරු අස්සක් මුල්ලක් නෑර ඕනෑකමින් සොයන්නේ නැද් ද?</verse>
				<verse number="9">එය සම්බ වූ විට ඈ මිතුරන් ද අසල්වැසියන් ද කැඳවා, ‘මා සමඟ ප්‍රීති වන්න; මාගේ නැති වූ රිදී කාසිය සම්බ වී ය’යි ඔවුන්ට කියන්නී ය.</verse>
				<verse number="10">එලෙස ම පසුතැවී සිත හරවා ගන්නා වූ එක පව්කාරයකු ගැන දෙවියන් වහන්සේගේ දූතයන් අතර ප්‍රීතිය ඇති වන්නේ ය යි මම ඔබට කියමි.”</verse>
				<verse number="11">තවද උන් වහන්සේ මෙ‍සේ වදාළ සේක: “එක් මනුෂ්‍යයෙකුට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියෝ ය.</verse>
				<verse number="12">ඔවුන්ගෙන් බාලයා, ‘පියාණෙනි, ඔබගේ දේපළවලින් මට අයිති කොටස දුන මැනවැ’යි පියාට කී ය. එවිට ඔහු තමාගේ දේපළ ඔවුන් අතර බෙදා දුන්නේ ය.</verse>
				<verse number="13">නොබෝ දිනකට පසු බාල පුත්‍රයා සියල්ල එකතු කොටගෙන, දුර රටකට ගොස්, එහිදී දුරාචාරයෙහි යෙදෙමින්, තමාගේ සම්පත නාස්ති කරදැමී ය.</verse>
				<verse number="14">සියල්ල වියදම් කළ පසු, ඒ රටේ මහත් සාගතයක් ඇති වූයෙන් ඔහුට අග හිඟකම් දැනෙන්න විය.</verse>
				<verse number="15">එවිට ඔහු ගොස් ඒ රටේ පුරවැසියෙකුට අතවැසි වී ය; ඒ පුරවැසියා ඌරන් බලන පිණිස තමාගේ ගොවිපළට ඔහු යැවී ය.</verse>
				<verse number="16">ඌරන් කන කරල්වලින් වුව ද තමාගේ කුස පුරවාගන්න ඔහු කැමැති විය. කිසිවෙක් ඔහුට කිසිවක් නොදුන්නෝ ය.</verse>
				<verse number="17">එවිට ඔහු හරි සිහි කල්පනාවට පැමිණ; මාගේ පියාගේ කුලීකාරයන් එපමණ දෙනෙකුට ඕනෑ පමණටත් වඩා කෑම තිබේ. එහෙත් මම මෙ‍හි සාගින්නෙන් නසිමි!</verse>
				<verse number="18">මම නැඟිට මාගේ පියාණන් වෙත ගොස්, ‘පියාණෙනි, දෙවියන් වහන්සේට විරුද්ධ ව ද ඔබට විරුද්ධ ව ද පව් කෙළෙමි.</verse>
				<verse number="19">මින් මතු ඔබගේ පුත්‍රයා යයි කියනු ලබන්න නොවටිමි. ඔබගේ කුලීකාරයන්ගෙන් එකෙකු මෙ‍න් මා තබාගත මැනවැ යි ඔහුට කියන්නෙමි’යි සිතා,</verse>
				<verse number="20">පිටත් ව, තම පියා වෙත ගියේ ය. ඔහුගේ පියා දුරතියා ම ඔහු දැක, අනුකම්පාවෙන් ඇලළී දුව ගොස්, දෑතින් ඔහුගේ ගෙළ වැළඳ, සිපගත්තේ ය.</verse>
				<verse number="21">එවිට පුත්‍රයා ඔහුට කතා කොට, ‘පියාණෙනි, දෙවියන් වහන්සේට විරුද්ධ ව ද ඔබට විරුද්ධ ව ද මම පව් කෙළෙමි. මින් මතු ඔබගේ පුත්‍රයා යයි කියනු ලබන්නට නොවටිමි’යි කී ය.</verse>
				<verse number="22">එහෙත් පියා සිය මෙ‍හෙකරුවන් කැඳවා, ‘වහා හොඳ ම සළුව ගෙනැවිත් මොහුට අඳවන්න; මොහුගේ ඇඟිල්ලෙහි මුදුවක් පළඳවා පාදවල වහන් ද දමන්න;</verse>
				<verse number="23">තර කළ වස්සා ගෙනැවිත් මරන්න; අපි කා බී ප්‍රීති ප්‍රමෝද වෙමු.</verse>
				<verse number="24">මන්ද, මේ මාගේ පුත්‍රයා මැරී සිට යළි ජීවත් ව සිටියි; නැතිවී සිට සම්බ වී ය’යි කී ය. එවිට ඔව්හු ප්‍රීති ප්‍රමෝද වන්න පටන්ගත්හ.</verse>
				<verse number="25">ඔහුගේ වැඩිමල් පුත්‍රයා ගොවිපළට ගොස් සිටියේ ය. ඔහු පෙරළා එන්නේ ගෙදරට ළං වූ කල, නැටුම් ගැයුම් වැයුම් හඬ අසා,</verse>
				<verse number="26">දාසයන්ගෙන් එක් කෙනෙකුට අඬගසා, ‘මෙ‍හි තේරුම කිමෙ‍ක් දැ’යි විචාළේ ය.</verse>
				<verse number="27">ඔහු ද, ‘ඔබේ සහෝදරයා ඇවිත් සිටියි; ඔබේ පියා ඔහු සුවසේ ආපසු ලත් බැවින්, තර කළ වස්සා මැරෙව්වේ ය’යි කී ය.</verse>
				<verse number="28">එහෙත් ඔහු කිපී, ගෙට ඇතුළු වන්නට වත් නොකැමැති විය. එබැවින් ඔහුගේ පියා පිටතට අවුත්, ඇතුළට එන මෙ‍න් ඔහුගෙන් ඉල්ලා සිටියේ ය.</verse>
				<verse number="29">ඔහු උත්තර දෙමින්, ‘මෙ‍පමණ අවුරුදු ගණනක් මුළුල්ලේ මම ඔබට සේවය කරමින් සිටියෙමි; කවදාවත් ඔබගේ නියමයන් කඩ නොකෙළෙමි. එසේ වුවත් මාගේ මිතුරන් සමඟ ප්‍රීති වන්නට ඔබ එක එළු පැටවෙකු පමණ වත් කිසි කලක මට නුදුන්නෙහි ය.</verse>
				<verse number="30">එහෙත්, ඔබගේ මුළු වත්කම පරස්ත්‍රීන් සමඟ නැති නාස්ති කළ මේ ඔබගේ පුතා ආ හැටියේ ම, ඔහු නිසා තර කළ වස්සා මැරෙව්වෙහි ය’යි පියාට කී ය.</verse>
				<verse number="31">ඔහු ද පිළිතුරු දෙමින්, ‘පුතේ, ඔබ නිතොර ම මා සමඟ ය, මා සතු සියල්ල ඔබ සතු ය.</verse>
				<verse number="32">අප ප්‍රීති සන්තෝෂ විය යුතු ම ය. මන්ද, මේ ඔබේ මල්ලී මැරී සිටි නමුත් නැවත ජීවත් ව සිටි’ “යි; නැති වී සිටි නමුත් නැවත සම්බ වී ය’යි කීයේ ය.</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට මෙ‍සේ වදාළ සේක: “එක් ධනවතෙකුට ගබඩාකාරයෙක් සිටියේ ය. ඒ ගබඩාකාරයා ඔහුගේ වස්තුව නාස්ති කරති යි ඔහුට පැමිණිලි ලැබිණ.</verse>
				<verse number="2">එවිට ඔහු ඒ ගබඩාකරු කැඳවා, ‘ඔබ ගැන මට ආරංචි වන මේ කාරණය කුමක් ද? ඔබේ ගබඩාකාර නිලය පිළිබඳ අය වැය මට භාර දෙන්න; මින්පසු ඔබට ගබඩාකාර නිලය දැරිය නොහැකි ය’යි කී ය.</verse>
				<verse number="3">ගබඩාකාරයා ද, ‘මාගේ ස්වාමියා ගබඩාකාර නිලයෙන් මා අස්කරන්නට යන නිසා මම කුමක් කරම් ද? බිම් කෙටීමට මට ශක්තිය නැත; හිඟාකෑමට ලජ්ජා වෙමි.</verse>
				<verse number="4">ගබඩාකාර නිලයෙන් මා අස් කළ විට මිනිසුන්ගේ ගෙවල ඉඳුම්හිටුම් ලබාගැනීමට කළ යුතු දේ මම දනිමි’යි සිතින් සිතාගත්තේ ය.</verse>
				<verse number="5">මෙ‍සේ ඔහු තම ස්වාමියාගේ ණයකාරයන් එක් එක්කෙනා බැගින් කැඳවා, පළමුවැනියාට කතා කොට, ‘මාගේ ස්වාමියාට ඔබ කොපමණ ණය දැ’යි ඇසී ය.</verse>
				<verse number="6">‘තෙල් පීප්ප සියයකැ’යි ඔහු කීවේ ය. ගබඩාකාරයා කතා කොට, ‘ඔබේ බිල ගෙන වහා ම හිඳගෙන පණසක් කියා ලියන්නැ’යි ඔහුට කී ය.</verse>
				<verse number="7">තවත් කෙනෙකුගෙන්, ‘ඔබ කොපමණ ණය දැ’යි ඇසී ය. ‘තිරිඟු බුසල් දහස කැ’යි ඔහු කී ය. ‘ඔබ බිල ගෙන අට සියයක් කියා ලියන්නැ’යි ඔහුට කී ය.</verse>
				<verse number="8">ඒ වංචනික ගබඩාකාරයා එතරම් ශූර නුවණින් ක්‍රියා කළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසා කෙළේ ය. මන්ද, ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ, සිය කටයුතු සම්බන්ධයෙන් ශූර නුවණ ඇත්තෝ ය.</verse>
				<verse number="9">“එබැවින් මම ඔබට කියමි, ලෞකික වස්තුවෙන් මිතුරන් සපයාගන්න; වස්තුව නිම ව ගිය කල ඔවුන් ඔබ සදාතන විමානවලට පිළිගනු ඇත.</verse>
				<verse number="10">අල්ප දේ ගැන විශ්වාසී තැනැත්තේ මහත් දේ ගැනත් විශ්වාසී වෙයි. අල්ප දේ ගැන වංචනික තැනැත්තේ මහත් දේ ගැනත් වංචනික වෙයි.</verse>
				<verse number="11">එබැවින් ඔබ ලෞකික වස්තුව ගැන විශ්වාස ව නොසිටියාහු නම් සැබෑ වස්තුව ඔබට භාර දෙන්නෝ කවුරු ද?</verse>
				<verse number="12">අන් සතු දේ ගැන ඔබ විශ්වාස ව නොසිටියහු නම් ඔබට අයිති වන්න යන දේ ඔබට දෙන්නෝ කවුරු ද?</verse>
				<verse number="13">ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කරන්න කිසි සේවකයෙකුට නුපුළුවන; මන්ද, ඔහු එක් කෙනෙකුට වෛර කරන්නේ ය; අනෙක් අයට ප්‍රේම කරන්නේ ය. නොහොත් එක් කෙනෙකුට ලැදි වන්නේ ය; අනික් අය හෙළා දකින්නේ ය. දෙවියන් වහන්සේට හා වස්තුවට එකවිට ම සේවය කරන්නට ඔබට බැරි ය.”</verse>
				<verse number="14">පරිසිවරු ධනලෝභී අය වූ හෙයින් මෙ‍වදන් අසා උන් වහන්සේට සරදම් කළහ.</verse>
				<verse number="15">එවිට උන් වහන්සේ මෙ‍සේ වදාළ සේක. “ඔබ නම් මිනිසුන් ඉදිරියෙහි ඔබගේ ම දමිටුකම ගැන පාරට්ටු කරගන්නා අය ය; එහෙත් දෙවියන් වහන්සේ ඔබගේ සිත් දන්නා සේක. මනුෂ්‍යයන් විශිෂ්ට යයි සලකනු ලබන දෙය දෙවියන් වහන්සේ ඉදිරියෙහි පිළිකුලකි.</verse>
				<verse number="16">ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය ජොහන්ගේ කාලය දක්වා විය. එතැන් සිට දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ සුබ අස්න දේශනා කරනු ලැබේ. සියල්ලෝ ම බලවත් ඕනෑකමින් ඊට ඇතුළු වෙති.</verse>
				<verse number="17">එහෙත්, ව්‍යවස්ථාවලියෙන් බින්දු මාත්‍රයක් වත් අහෝසි වී යාමට වඩා අහස හා පොළොව පහවී යාම පහසු ය.</verse>
				<verse number="18">“සිය බිරිඳ දික්කසාද කොට, අන් ස්ත්‍රියක පාවාගන්නා කවරෙක් වුව ද කාමමිථ්‍යාචාරය කරයි. පුරුෂයකු විසින් දික්කසාද කරන ලද ස්ත්‍රියක පාවාගන්න තැනැත්තේ ද කාමමිථ්‍යාචාරය කරයි.”</verse>
				<verse number="19">“අගනා නීල-රක්ත වස්ත්‍ර හා සිනිඳු සේද රෙදි හැඳගත්, හැමදා සැප විහරණයෙන් කල් යැවූ එක් ධනපතියෙක් වී ය.</verse>
				<verse number="20">ඔහුගේ නිවසේ දොරටුව ළඟ ඇඟ පුරාම වණ තිබූ ලාසරස් නම් එක් හිඟන්නෙක් ගෙනවුත් තබන ලදී.</verse>
				<verse number="21">ඔහු ධනපතියාගේ කෑම මේසයෙන් වැටෙන කැබැලිවලින් වුව ද සාගිනි නිවා ගැනීමට සතුටු විය. බල්ලෝ පවා ඔහුගේ වණ ලෙව කෑවෝ ය.</verse>
				<verse number="22">ඒ හිඟන්නා මියගිය පසු දේව දූතයන් විසින් ඔහු ආබ්‍රහම් ළඟට ගෙන යන ලද්දේ ය. ධනපතියාත් මැරී භූමිදාන කරන ලද්දේ ය.</verse>
				<verse number="23">ඔහු ආත්ම භවනෙහි වධ විඳිමින් ඇස් ඔසවා ආබ්‍රහම් ද ඔහුගේ තුරුල්ලේ හුන් ලාසරස් ද දුරින් දැක,</verse>
				<verse number="24">මොරගසා, ‘ආබ්‍රහම් පිය තුමෙ‍නි, මට කරුණා කොට, තම ඇඟිලි තුඩ දියේ ගල්වා, මාගේ දිව තෙමාලන පිණිස ලාසරස් එවනු මැනව: මන්ද, මම මේ ගිනි ජාලාවෙහි දහ දුක් විඳිමි’යි කී ය.</verse>
				<verse number="25">එහෙත් ආබ්‍රහම් පිළිතුරු දෙමින්, ‘පුත්‍රය, ඔබ ජීවත් ව සිටිය දී, හැම සැපත ම ඔබට තිබුණු බව ද එලෙස ම හැම විපත ම ලාසරස්ට තිබුණු බව ද සිහි කරන්න. එහෙත් දැන් ඔහු මෙ‍හි සැනසිලි ලබයි; ඔබ දහ දුක් විඳින්නෙහි ය.</verse>
				<verse number="26">එපමණකුත් නොවේ. මොබින් ඔබ වෙත යාමට වත් ඔබින් අප වෙත ඒමට වත් කැමැති වූවන්ට එය කළ නොහැකි වන සේ ඔබ හා අප හා අතර පරතරයක් පිහිටුවා ඇතැ’යි කී ය.</verse>
				<verse number="27">එවිට ධනවතා, ‘එසේ නම් පිය තුමෙ‍නි, මාගේ සහෝදරයෝ පස් දෙනෙක් සිටිති;</verse>
				<verse number="28">ඔවුන් ද මේ වධ වේදනා ඇති ස්ථානයට නොපැමිණෙන පිණිස, ඔවුන්ට අවවාද දෙන්නට ලාසරස් මාගේ පියාගේ ගෙදරට යවන මෙ‍න් ඉල්ලමි’යි කී ය.</verse>
				<verse number="29">එහෙත්, ආබ්‍රහම් කතා කොට: ‘මෝසෙස් සහ දිවැසිවරයෝ ඔවුන්ට සිටිති. ඔව්හු ඔවුන්ට සවන් දෙත් වා’යි කී ය.</verse>
				<verse number="30">ඔහු කතා කොට, ‘එසේ නොවේ, ආබ්‍රහම් පිය තුමෙ‍නි, මළවුන් කෙරෙන් එකකු ඔවුන් වෙත ගියොත් ඔවුන් පසුතැවී සිත් හරවා ගනු ඇතැ’යි කී ය.</verse>
				<verse number="31">ආබ්‍රහම් පිළිතුරු දෙමින්, ‘ඔව්හු මෝසෙස්ටත් දිවැසිවරයන්ටත් සවන් නොදෙත් නම්, මළවුන්ගෙන් උත්ථානයට පැමිණියෙකු වුව ද ඔව්හු විශ්වාස නොකරති’යි ඔහුට කී ය.”</verse>
			</chapter>
			<chapter number="17">
				<verse number="1">උන් වහන්සේ ශ්‍රාවකයන්ට කතා කරමින්, “මිනිසුන් පාපයට පමුණුවන හේතුන් ඇති වීම නියත ය. එහෙත් යමෙකු නිසා ඒ හේතු පැමිණේ ද, ඔහුට වන විපතක මහත!</verse>
				<verse number="2">මේ කුඩා අයගෙන් කෙනෙකුගේ වැටීමට යමෙක් හේතු වනු ඇද්ද, ඔහුගේ ගෙළ වටා ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ හෙළනු ලැබීම ඔහුට ඊට වඩා යහපති.</verse>
				<verse number="3">කපරිස්සම් වන්න; ඔබේ සහෝදරයා පව්ළොත් ඔහුට තරවටු කරන්න; ඔහු පසුතැවී සිත් හරවා ගනී නම් ඔහුට කමා වන්න.</verse>
				<verse number="4">දවසකට සත් වරක් ඔබට විරුද්ධ ව පව් කොට, සත් වරක් ඔබ වෙතට හැරී, ‘මම පසුතැවී සිත හරවා ගතිමි’යි කීවොත්, ඒත් ඔහුට කමා වන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="5">එවිට ප්‍රේරිතයෝ කතා කොට, “අපේ ඇදහිල්ල වැඩි කළ මැනවැ”යි සමිඳාණන් වහන්සේට කී හ.</verse>
				<verse number="6">සමිඳාණන් වහන්සේ කතා කොට, “අබ ඇටයක් පමණ ඇදහිල්ල ඇති ව, මේ ඇඹිල්ල ගහට, ‘ඉදිරී ගොස්, මුහුදේ පැලවෙව’යි කියන්නහු නම්, එය ඔබට කීකරු වනු ඇත.</verse>
				<verse number="7">එහෙත්, ඔබ අතරෙන් යමෙකුට සීසාන හෝ බැටළුවන් බලන හෝ දාසයෙක් සිටී නම් කෙතේ සිට ආ කල, ‘වහාම ඇවිත් කෑමට ඉඳ ගන්නැ’යි කියන්නෙහි ද?</verse>
				<verse number="8">එසේ නොව, ‘මට කෑම බීම පිළියෙළ කොට, ඇඳගෙන ලෑස්ති වී, කා බී නිම වන තුරු මට උපස්ථාන කරන්න; ඉන්පසු ඔබ කන්න බොන්නැ’යි කියන්නේ නැද් ද?</verse>
				<verse number="9">ඒ දාසයා තමාට අණ කළ දේ කළ බැවින් ස්වාමියා ඔහුට ස්තුති කරයි ද? නැත.</verse>
				<verse number="10">එසේ ම ඔබත් ඔබට අණ කළ සියල්ල කළ පසු, ‘අපි දාසයෝ ය, ස්තුතියක් අපට හිමි නැත, කළ යුතු දෙය පමණක් අපි කෙළෙමු’යි කියන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="11">ජේසුස් වහන්සේ ජෙරුසලම බලා යද්දී, සමාරිය හා ගලීලය මැදින් ගමන් ගත් සේක.</verse>
				<verse number="12">උන් වහන්සේ එක් ගමකට ඇතුළු වූ කල, ලාදුරු රෝගීහු දස දෙනෙක් උන් වහන්සේට හමු වූ හ.</verse>
				<verse number="13">ඔව්හු දුරින් සිට, “ජේසුස් වහන්ස, ආචාරීනි, අපට කරුණා කළ මැනවැ”යි හඬ නඟා කී හ.</verse>
				<verse number="14">උන් වහන්සේ ඔවුන් දැක, “ඔබ ගොස් පූජකවරුන් අබිමුවෙහි පෙනී සිටින්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="15">ඔව්හු එසේ යද්දී පවිත්‍ර වූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙක් තමා සුව වූ බව දැක, මහ හඬින් දෙවියන් වහන්සේට ගෞරව කරමින් පෙරළා අවුත්,</verse>
				<verse number="16">උන් වහන්සේගේ පාමුල වැඳ වැටී උන් වහන්සේට ස්තුති කෙළේ ය. ඔහු වනාහි සමාරීය ජාතිකයෙකි.</verse>
				<verse number="17">ජේසුස් වහන්සේ කතා කරමින්, “දහ දෙනෙක් ම පවිත්‍ර වූවා නොවේ ද? අනෙක් නව දෙනා කොහේ ද?</verse>
				<verse number="18">මේ විජාතිකයා හැර, දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස වෙන කිසිවෙක් හැරී ආවේ නැද් ද” කියා,</verse>
				<verse number="19">ඔහුට කතා කොට, “නැඟිට යන්න, ඔබේ ඇදහිල්ල ඔබ සුව කෙළේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="20">“දෙවියන් වහන්සේගේ රාජ්‍යය කවර කලෙක පහළ වන්නේ දැ”යි පරිසිවරුන් ඇසූ බැවින්, උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඇසට පෙනෙන අයුරින් නොපැමිණෙයි.</verse>
				<verse number="21">මෙ‍න්න මෙ‍තැන ය, අන්න අතැන යයි කිසිවෙකුට කිව නොහැකි ය; මන්ද, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ අතරෙහි ය”යි වදාළ සේක.</verse>
				<verse number="22">උන් වහන්සේ ශ්‍රාවකයන්ට මෙ‍සේ වදාළ සේක: “මනුෂ්‍ය-පුත්‍රයාණන් වැඩ සිටින දවස්වලින් එකක් වුව ද දැකීමට ඔබ ආශාවන කාලයක් පැමිණෙයි; එහෙත් ඔබ එය නොදක්නාහු ය.</verse>
				<verse number="23">‘අන්න, එතැන ය! මෙ‍න්න මෙ‍තැන ය!’යි ඔවුන් කියන කල, පිටත් වී එය පසුපස්සේ නොයන්න.</verse>
				<verse number="24">අහසෙහි එක් දිශාවකින් පහළ වන විදුලිය අහසේ අනෙක් දිශාව දක්වා බබළන්නාක් මෙ‍න්, මනුෂ්‍ය-පුත්‍රයාණෝ පහළ වන දවසේ දී බබළන සේක.</verse>
				<verse number="25">එහෙත් පළමුකොට එතුමාණෝ බොහෝ දුක් විඳ මේ පරම්පරාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිය යුත්තාහ.</verse>
				<verse number="26">තවද නෝවාගේ දවස්වල දී වූ ලෙස ම, මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ දවස්වල දී ද වන්නේ ය.</verse>
				<verse number="27">නෝවා නැවට පිවිසුණු දිනය දක්වා මිනිස්සු කමින්, බොමින්, ආවාහ විවාහ වෙමින් කල් යැවූ හ. එවිට ජල ගැල්ම පැමිණ ඔවුන් සියල්ලන් විනාශ කර දැමී ය.</verse>
				<verse number="28">ලොත්ගේ දවස්වල දී ද එසේ ම විය; ඔව්හු කමින්, බොමින්, වෙළහෙළඳාම් කරමින්, වවමින්, ගෙවල් සාදමින් කල් යැවූ හ:</verse>
				<verse number="29">එහෙත් ලොත් සොදොම්හි සිට නික්ම ගිය දා, අහසින් ගිනි සහ ගෙන්දගම් වැසි වැස, සියල්ලන් විනාශ කර දැමී ය.</verse>
				<verse number="30">මනුෂ්‍ය-පුත්‍රයාණන් ප්‍රකාශ වන දිනයේ දී ද ඒ අයුරින් ම වන්නේ ය.</verse>
				<verse number="31">ඒ දවසේ දී පියස්ස මත සිටින්නා ගෙයි තිබෙන තම බඩු බාහිරාදිය ගෙනයනු පිණිස බිමට නොබසීවා. එසේ ම කෙතේ සිටින්නා පෙරළා නොඒවා.</verse>
				<verse number="32">ලොත්ගේ භාර්යාව සිහි කරන්න.</verse>
				<verse number="33">සිය ජීවිතය රැකගන්නට සොයන්නා එය නැති කර ගන්නේ ය. සිය ජීවිතය නැති කරගන්නා එය රැක ගන්නේ ය.</verse>
				<verse number="34">මෙ‍ය ඔබට කියමි, ඒ රැයේ දී මනුෂ්‍යයන් දෙදෙනෙක් එක යහනක සිටිති; එක් කෙනෙක් ගනු ලබන්නේ ය, අනෙකා හැර දමනු ලබන්නේ ය.</verse>
				<verse number="35">ස්ත්‍රීහු දෙදෙනෙක් එකට ධාන්‍ය අඹරමින් සිටිති; එක තැනැත්තියක් ගනු ලබන්නී ය, අනෙක් තැනැත්තිය හැර දමනු ලබන්නී ය.</verse>
				<verse number="36">මනුෂ්‍යයන් දෙදෙනෙක් කෙතෙහි සිටිති; එක් කෙනෙක් ගනු ලබන්නේ ය; අනෙකා හැර දමනු ලබන්නේ ය.”</verse>
				<verse number="37">එවිට ඔව්හු උත්තර දෙමින්, “ස්වාමීනි, ඒ කොතැන්හි දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. උන් වහන්සේ උත්තර දෙමින්, “මළකුණ කොතැන ද, ගිජු ලිහිණියෝ එතැන රැස්වෙති”යි වදාළ සේක.</verse>
			</chapter>
			<chapter number="18">
				<verse number="1">තවද ඔවුන් අධෛර්ය නොවී නොකඩවා යාච්ඤාවෙහි යෙදිය යුතු බව දක්වන පිණිස උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව වදාළ සේක:</verse>
				<verse number="2">“එක් නුවරක දෙවියන්ට බිය නැති, මිනිසුන්ට ගරු නොකරන විනිශ්චයකාරයෙක් වී ය.</verse>
				<verse number="3">එම නුවර වැන්දඹුවක් ද වූවා ය; ඈ නොයෙක් වර ඔහු වෙත ගොස්, ‘මාගේ විරුද්ධකාරයා මට කළ අයුක්තියට, යුක්තිය ඉෂ්ට කළ මැනවැ’යි කීවා ය.</verse>
				<verse number="4">ඔහු කලක් ඒ ඉල්ලීම නොසලකා හැරියේ ය. පසුව ඔහු තමාට ම මෙ‍සේ කියාගත්තේ ය, ‘මා දෙවියන් වහන්සේට ගරුබිය නොපෑවත්, මනුෂ්‍යයන්ට ගරු සරු නොකළත්,</verse>
				<verse number="5">මේ වැන්දඹුවගේ, කරදරය නිසා ඈ නිතර පැමිණ මා නොවෙහෙසන පිණිස, ඈට යුක්තිය ඉටු කර දෙමි’යි කීයේ ය.”</verse>
				<verse number="6">තවද, සමිඳාණන් වහන්සේ කතා කොට, “මේ අධාර්මික විනිශ්චයකාරයා කියන දේ අසන්න.</verse>
				<verse number="7">දෙවියන් වහන්සේත්, දිවා රෑ දෙක්හි තමන් හට අයැදින, තමන් තෝරාගත් අය ගැන යුක්තිය ඉටු නොකරන සේක් ද? උන් වහන්සේ ඔවුන් ගැන බොහෝ නොඉවසන සේක් ද?</verse>
				<verse number="8">උන් වහන්සේ ඔවුන්ට වහා ම යුක්තිය ඉටු කරන සේකැ යි, මම ඔබට කියමි. එසේ වුව ද, මනුෂ්‍ය-පුත්‍රයාණන් වඩිනා කල මිහි පිට ඇදහිල්ල ඇති අය උන් වහන්සේට සම්බ වනු ඇද්දැ”යි ඇසූ සේක.</verse>
				<verse number="9">තමා සිල්වත් යයි සිතමින්, අන් හැම දෙන හෙළා දුටු ඇතැම් අයට උන් වහන්සේ මේ උපමාව ද වදාළ සේක.</verse>
				<verse number="10">“මිනිසුන් දෙදෙනෙක් යාච්ඤාව පිණිස දේව මාලිගාවට නැඟී ගියහ; එක් කෙනෙක් පරිසිවරයෙකි; අනික් තැනැත්තා අයකැමියෙකි.</verse>
				<verse number="11">පරිසිවරයා නැඟී සිට පසෙකට වී තනියම යාච්ඤා කරමින්, ‘දෙවියන් වහන්ස, මා අන් මිනිසුන් මෙ‍න් වස්තු ලෝභී, වංචනික, කාමමිථ්‍යාචාරී තැනැත්තකු නොවන බැවින් ඔබට තුති පුදමි. මම මේ අයකැමියා වැන්නෙක් ද නොවෙමි.</verse>
				<verse number="12">සතියකට දෙවරක් උපවාස කරමි; මා උපයන සියල්ලෙන් දහයෙන් කොටස දෙමි’යි කී ය.</verse>
				<verse number="13">එහෙත් අයකැමියා ඈතින් සිට ස්වර්ගය දෙස ඇස් ඔසවා බලන්නට වත් නොසිතා, තමාගේ ළයට ගසාගනිමින්, ‘දෙවියන් වහන්ස, පව්කාර වූ මා හට කරුණා කළ මැනවැ’යි කී ය.</verse>
				<verse number="14">මෙ‍ය මම ඔබට කියමි; දමිටු යයි ගණන් ගනු ලැබ ගෙදර ගියේ පරිසිවරයා නොව, මේ අයකැමියා ය. තමා ම උසස් කරගන්නා හැම දෙන ම පහත් කරනු ලබති; තමා ම පහත් කරගන්නා උසස් කරනු ලබන්නේ ය.”</verse>
				<verse number="15">සමහරු උන් වහන්සේගේ අත්, ඔවුන් පිට තබවා ගනු පිණිස, තම ළදරුවන් පවා උන් වහන්සේ වෙත ගෙනාවෝ ය. ශ්‍රාවකයෝ ඒ දැක ඔවුන්ට තරවටු කළහ.</verse>
				<verse number="16">එහෙත් ජේසුස් වහන්සේ ඔවුන් තමන් වෙත කැඳවා, “ළදරුවන්ට මා වෙත එන්නට ඉඩ දෙන්න; ඔවුන් නොවළක්වන්න; මන්ද, දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙ‍බඳුවන්ගේ ය.</verse>
				<verse number="17">ඇත්තෙන් ම මම ඔබට කියමි, යමෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ළදරුවෙකු මෙ‍න් නොපිළිගන්නේ ද, ඔහු කිසි සේත් එහි ඇතුළු නොවන්නේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="18">එවිට එක් ප්‍රධානියෙක් උන් වහන්සේට කතා කොට, “යහපත් ගුරුදේවයෙනි, සදාතන ජීවනය උරුම කර ගන්නා පිණිස මා කුමක් කළ යුතු දැ”යි ඇසී ය.</verse>
				<verse number="19">ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මා ‘යහපත් ය’යි ඔබ කියන්නේ මන් ද? හුදෙක් දෙවියන් වහන්සේ මිස අන් කිසිවෙක් යහපත් නොවේ.</verse>
				<verse number="20">කාමමිථ්‍යාචාරය නොකරන්න, මිනී නොමරන්න, සොරකම් නොකරන්න. බොරු සාක්ෂි නොකියන්න, නුඹේ පියාට ද මවට ද ගෞරව කරන්න යන ආඥා ඔබ දන්නෙහි ය”යි ඔහුට වදාළ සේක.</verse>
				<verse number="21">“මේ සියල්ලක් ම මාගේ යොවුන් වියේ පටන් රක්ෂා කෙළෙමි”යි ඔහු කී ය.</verse>
				<verse number="22">ජේසුස් වහන්සේ ඒ අසා, “ඔබට තව එක අඩුපාඩුවක් ඇත. ඔබ සතු සියල්ල විකුණන්න, විකුණා දිළිඳුන්ට දෙන්න, එවිට ස්වර්ගයෙහි ඔබට සම්පත් ඇති වන්නේ ය; එන්න, මා අනුගාමී වන්නැ”යි ඔහුට වදාළ සේක.</verse>
				<verse number="23">එහෙත් ඔහු ඒ කීම අසා අතිශයින් ශෝක විය; එසේ වූයේ ඔහු බොහෝ ධනවත් ව සිටි බැවිනි.</verse>
				<verse number="24">ජේසුස් වහන්සේ ඒ දැක, “ධනවතුන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම කොතරම් දුෂ්කර ද!</verse>
				<verse number="25">ධනවතෙකු දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා ඔටුවෙකුට ඉදිකටු මලින් රිංගා යාම පහසු ය”යි වදාළ සේක.</verse>
				<verse number="26">ඒ ඇසූ අය, “එසේ නම් ගැළවීම ලැබිය හැක්කේ කවරෙකුට දැ”යි ඇසූ හ. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්,</verse>
				<verse number="27">“මනුෂ්‍යයන්ට නොහැකි දේ දෙවියන් වහන්සේට හැකි ය”යි වදාළ සේක.</verse>
				<verse number="28">එවිට පේදුරු කතා කොට, “අපි නම් අප සතු සියල්ල අත්හැර ඔබ වහන්සේ අනුව ආවෙමු”යි කී ය.</verse>
				<verse number="29">උන් වහන්සේ කතා කරමින්, “ඇත්තෙන් ම මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යය නිසා ගේදොර හෝ භාර්යාව හෝ සොහොයුරන් හෝ දෙමව්පියන් හෝ දූදරුවන් හෝ අත්හළ කවරෙක් වුව ද,</verse>
				<verse number="30">මේ යුගයේ දී ම ඊට බොහෝ වැඩියෙන් ද එන යුගයේ දී සදාතන ජීවනය ද ලබන්නේ ම ය”යි වදාළ සේක.</verse>
				<verse number="31">උන් වහන්සේ දොළොස් දෙනා තමන් වෙත කැඳවා ඔවුන්ට කතා කරමින්, “මෙ‍න්න, දැන් අපි ජෙරුසලමට යම්හ; මනුෂ්‍ය-පුත්‍රයාණන් ගැන දිවැසිවරයන් විසින් ලියා ඇති සියල්ල ඉෂ්ට වන්නේ ම ය.</verse>
				<verse number="32">කුමක්නිසා ද උන් වහන්සේ විජාතීන්ට පාවා දෙනු ලබන සේක. ඔව්හු උන් වහන්සේට සරදම් කර, අපහාස කර, කෙළ ගසන්නාහ.</verse>
				<verse number="33">ඔව්හු උන් වහන්සේ කසවලින් තළා මරන්නෝ ය. එහෙත් තුන්වනදා නැවත උත්ථාන වන සේකැ”යි වදාළ සේක.</verse>
				<verse number="34">මේ දේවලින් කිසිවක් ඔවුන්ට අවබෝධ නො වී ය. උන් වහන්සේ පැවසූ දෙය නොවැටහෙන සේ එය ඔවුන් කෙරෙන් සැඟවී තිබිණි.</verse>
				<verse number="35">ජේසුස් වහන්සේ ජෙරිකෝවට සමීප වූ කල, එක් අන්ධයෙක් සිඟමින් පාර අයිනේ ඉඳගෙන සිටියේ ය.</verse>
				<verse number="36">ජනකායක් ඒ ළඟින් යනවා ඔහුට ඇසී, “ඒ කුමක් දැ”යි විමසී ය.</verse>
				<verse number="37">එවිට ඔව්හු නාසරෙත්හි ජේසුස් වහන්සේ ඒ ළඟින් යන බව ඔහුට කී හ.</verse>
				<verse number="38">ඔහු ද, “ජේසුස් වහන්ස, දාවිත්ගේ පුත්‍රය, මට අනුකම්පා කළ මැනවැ”යි මොරගැසී ය.</verse>
				<verse number="39">ඉදිරියෙන් ගිය අය නිශ්ශබ්ද වන ලෙස ඔහුට සැර කළහ. එහෙත් ඔහු ශබ්ද නඟා: “දාවිත්ගේ පුත්‍රය, මට අනුකම්පා කළ මැනවැ”යි වැඩි වැඩියෙන් මොරගැසී ය.</verse>
				<verse number="40">ජේසුස් වහන්සේ නැවතී, ඔහු තමන් ළඟට ගෙනෙන්න අණ කළ සේක. ඔහු ළඟට ආ කල,</verse>
				<verse number="41">“මා ඔබට කුමක් කර දෙනවාට කැමැත්තෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. “ස්වාමීනි මාගේ පෙනීම මට ලබා දුන මැනවැ”යි ඔහු කී ය. ජේසුස් වහන්සේ කතා කරමින්,</verse>
				<verse number="42">“පෙනීම ලබන්න, ඔබේ ඇදහිල්ල ඔබ සුව කෙළේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="43">එකෙණෙහි ම ඔහු ඇස් පෙනීම ලබා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින්, උන් වහන්සේ පසුපස්සේ ගියේ ය. මුළු ජනතාව තමන් දුටු දේ ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ.</verse>
			</chapter>
			<chapter number="19">
				<verse number="1">උන් වහන්සේ ජෙරිකෝවට පිවිස, ඒ මැදින් ගිය සේක.</verse>
				<verse number="2">සාකෙවුස් නම් ධනවත් ප්‍රධාන අයකැමියෙක් එහි විය.</verse>
				<verse number="3">ඔහු ජේසුස් වහන්සේ කවුරුන් දැ යි බැලීමට සෙවී ය. එහෙත් ඔහු මිටිකෙනෙකු වූයෙන් සමූහයා නිසා එය කළ නොහැකි විය.</verse>
				<verse number="4">ජේසුස් වහන්සේ ඒ පාරෙන් යන්න සිටි බැවින්, ඔහු පෙරටුව දුව ගොස්, උන් වහන්සේ දක්නා පිණිස අත්තික්කා ගසකට නැංගේ ය.</verse>
				<verse number="5">ජේසුස් වහන්සේ ඒ ස්ථානයට පැමිණ, උඩ බලා, ඔහුට කතා කොට, “සාකෙවුස්, වහා ම බිමට බසින්න, අද මට ඔබේ ගෙදර නවාතැන් ගන්න ඕනෑ ය”යි ඔහුට වදාළ සේක.</verse>
				<verse number="6">ඔහු වහා ම බැස, අවුත්, ප්‍රීතියෙන් උන් වහන්සේ පිළිගත්තේ ය.</verse>
				<verse number="7">ඒ දුටු සියල්ලෝ, “උන් වහන්සේ පව්කාර මනුෂ්‍යයකු සමඟ නවාතැන් ගන්නට ගිය සේකැ”යි කියමින් කොඳුළෝ ය.</verse>
				<verse number="8">සාකෙවුස් නැඟිට, “ස්වාමීනි, මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිළිඳුන්ට දෙමි, යමෙකුගෙන් අයුතු ලෙස යමක් ගෙන තිබේ නම්, ඔහුට සතර ගුණයක් ආපසු දෙමි”යි සමිඳාණන් වහන්සේට කී ය.</verse>
				<verse number="9">ජේසුස් වහන්සේ කතා කරමින්, “ගැළවීම අද මේ ගෙදරට පැමිණ ඇත; මොහු ආබ්‍රහම්ගේ පුත්‍රයෙකි.</verse>
				<verse number="10">මනුෂ්‍ය-පුත්‍රයාණෝ නැති වූ දේ සොයන්නට ද ගළවාගන්නට ද වැඩම කළ සේකැ”යි වදාළ සේක.</verse>
				<verse number="11">ඔවුන් මෙ‍බස් අසා සිටිය දී, උන් වහන්සේ තවත් උපමාවක් වදාළ සේක. එය වදාළේ, උන් වහන්සේ ජෙරුසලමට සමීප ව සිටි බැවින් හා දෙවියන් වහන්සේගේ රාජ්‍යය වහා ම එළිදරව් වනු ඇතැ යි ඔවුන් සිතූ බැවිනි.</verse>
				<verse number="12">“රදළපෙළෙහි වූ එක් මනුෂ්‍යයෙක් රාජ පදවියක් ලබා එනු පිණිස දුර රටකට පිටත් ව ගියේ ය.</verse>
				<verse number="13">ඔහු තමාගේ දාසයන් දස දෙනෙකු කැඳවා, ඔවුන් එකිනෙකාට රන් කාසියක් බැගින් දී, ‘මා එන තුරු මෙ‍යින් වෙළහෙළඳාම් කරන්නැ’යි කී ය.</verse>
				<verse number="14">එහෙත් ඔහුගේ නගරවැසියෝ ඔහුට වෛර වී, ‘මේ මනුෂ්‍යයා අප කෙරේ රජකම් කිරීම අපේ කැමැත්ත නොවේ ය’යි කියනු පිණිස නියෝජිත පිරිසක් ඔහු පස්සේ යැවූ හ.</verse>
				<verse number="15">ඔහු රාජ පදවිය ලබා පෙරළා ආ විට, තමා මුදල් දුන් දාසයෝ වෙළහෙළඳාමෙ‍න් කොපමණ උපදවා ගත්තෝ දැ යි දැනගන්නා පිණිස ඔවුන් තමන් වෙත කැඳවන්න අණ කෙළේ ය.</verse>
				<verse number="16">පළමුවැන්නා ඔහු ඉදිරියට අවුත්, ‘ස්වාමීනි, ඔබේ එක රන් කාසියෙන් රන් කාසි දසයක් උපදවා ගතිමි’යි කී ය.</verse>
				<verse number="17">ඔහු කතා කොට, ‘ඉතා හොඳ ය, යහපත් වූ දාසය, ඔබ ඉතා සුළු දෙයක් ගැන විශ්වාසී වූ බැවින් නගර දසයක් කෙරේ අධිපති වන්නැ’යි ඔහුට කී ය.</verse>
				<verse number="18">දෙවැන්නා ද අවුත්, ‘ස්වාමීනි, ඔබ දුන් රන් කාසියෙන් පහක් උපදවාගතිමි’යි කී ය.</verse>
				<verse number="19">එවිට ඔහු, ‘ඔබත් නගර පහක් කෙරේ අධිපති වන්නැ’යි ඔහුට කී ය.</verse>
				<verse number="20">තවත් කෙනෙක් අවුත්, ‘ස්වාමීනි, මෙ‍න්න ඔබේ රන් කාසිය! එය රෙදි කඩක ඔතා තැබීමි.</verse>
				<verse number="21">මන්ද, ඔබ නුදුන් දෙය ගන්නා වූ, නොවපුළ දෙය කපන්නා වූ දැඩි සිතක් ඇති කෙනෙකු බැවින් ඔබට බිය වූවෙමි’යි කී ය.</verse>
				<verse number="22">එවිට ඔහු කතා කොට, ‘නපුරු දාසය, ඔබේ ම වචනවලින් ඔබ විනිශ්චය කරමි. මා නුදුන් දෙය ගන්නා වූ, නොවපුළ දෙය කපන්නා වූ, දැඩි සිතක් ඇති කෙනෙකු බව ඔබ දැන සිටියෙහි ය.</verse>
				<verse number="23">එසේ නම් මා ආ විට පොළියත් සමඟ අය කරගනු පිණිස මාගේ මුදල් බැංකුවේ තැන්පත් නොකෙළේ මන් ද?’ කියා,</verse>
				<verse number="24">ළඟ සිටියවුන්ට කතා කොට, ‘ඒ කාසිය ඔහුගෙන් ගෙන කාසි දසය ඇත්තාට දෙන්නැ’යි කී ය.</verse>
				<verse number="25">එවිට ඔව්හු, ‘ස්වාමීනි ඔහුට කාසි දසයක් ඇතැ’යි කී හ.</verse>
				<verse number="26">‘ඇති හැමට වැඩියෙනුත් දෙනු ලැබේ; නැති අයගෙන් ඇති දෙයත් ගනු ලැබේ ය යි මම ඔබට කියමි.</verse>
				<verse number="27">එසේ වුව ද මා තමන් කෙරේ රජකම් කරනවාට කැමැති නුවූ මේ මාගේ සතුරන් මෙ‍හි ගෙනවුත් මා ඉදිරියෙහි ම මරා දමන්නැ’යි කීවේ ය.”</verse>
				<verse number="28">උන් වහන්සේ මෙ‍වදන් දෙසා ජෙරුසලමට යන පිණිස ඔවුන්ට පෙරටුව වැඩි සේක.</verse>
				<verse number="29">උන් වහන්සේ ඔලීව නම් කන්දට නුදුරු බෙත්පාගයට ද බෙතානියට ද ළං වූ කල, සිය ශ්‍රාවකයන්ගෙන් දෙදෙනකු යවමින්,</verse>
				<verse number="30">“ඔබ ඉදිරිපිට තිබෙන ගමට යන්න; එහි ඇතුළු වූ විට, කිසි කලෙක කිසිවෙකු නොනැඟුණු කොටළු නාම්බෙකු බැඳ සිටිනු ඔබට සම්බවන්නේ ය.</verse>
				<verse number="31">ඌ ලිහා මෙ‍හි ගෙනෙන්න. ඌ ලිහන්නේ මන්දැ යි යමෙකු ඇසුවොත්, සමිඳාණන් වහන්සේ හට උගෙන් වැඩක් ඇතැ යි කියන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="32">යවනු ලැබුවෝ ගොස් උන් වහන්සේ ඔවුන්ට වදාළ ලෙස ම දුටුවෝ ය.</verse>
				<verse number="33">ඔවුන් කොටළු නාම්බා ලිහන කල අයිතිකාරයෝ “ඔබ කොටළු නාම්බා ලිහන්නේ මන්දැ”යි ඇසූ හ.</verse>
				<verse number="34">“සමිඳාණන් වහන්සේ හට උගෙන් වැඩක් ඇතැ”යි ඔව්හු කී හ.</verse>
				<verse number="35">ඔව්හු කොටළු නාම්බා උන් වහන්සේ වෙත ගෙනවුත්, තමන්ගේ උතුරු සළු ඌ පිට අතුරා, ජේසුස් වහන්සේ ඌ පිට හිඳවූ හ.</verse>
				<verse number="36">උන් වහන්සේ යද්දී, ඔව්හු තමන්ගේ උතුරු සළු මඟ එලා ලූ හ.</verse>
				<verse number="37">උන් වහන්සේ ඔලීව කන්දේ බෑවුම ළඟට පැමිණි කල්හි, මුළු ශ්‍රාවක සමූහයා ප්‍රීති වන්නටත් තමන් දුටු සියලු ප්‍රබල ක්‍රියා ගැන මහත් ශබ්දයකින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නටත් පටන් ගෙන,</verse>
				<verse number="38">“සමිඳුන් නමින් වඩිනා රජුට ආසිරි වේ වා! ස්වර්ගයෙහි සාමය ද අති උසස් තැන්හි මහිමය ද වේ වා!”යි කී හ.</verse>
				<verse number="39">එවිට සමූහයා අතරෙන් සමහර පරිසිවරු, “ගුරුදේවයෙනි, ඔබගේ ශ්‍රාවකයන්ට තරවටු කළ මැනවැ”යි උන් වහන්සේට කී හ.</verse>
				<verse number="40">උන් වහන්සේ උත්තර දෙමින්, “ඔවුන් නිහඬ වූවොත්, ගල්, මොරගසනු ඇතැ යි මම ඔබට කියමි”යි වදාළ සේක.</verse>
				<verse number="41">උන් වහන්සේ අගනුවරට ළඟා වී එය දුටු විට නුවර ගැන හඬමින් මෙ‍සේ වදාළ සේක:</verse>
				<verse number="42">“අහෝ, ඔබට ශාන්තිය සලසන දේ ගැන මේ උදාර දිනයේ දී වත් ඔබ දැන සිටියා නම්! එහෙත් එසේ නො වී ය, එය ඔබේ දෙනෙතින් සැඟවී ඇත.</verse>
				<verse number="43">ඔබේ සතුරන් බලකොටු තනා, ඔබ සිසාරා, සතර දිගින් ඔබ වටලන දවස් පැමිණෙන්නේ ය.</verse>
				<verse number="44">ඔව්හු ඔබ ද ඔබ තුළ සිටින දරු කැල ද පොළොවේ ගසා, ගලක් පිට ගලක් තිබෙන්ට ඉඩ නාරින්නෝ ය. මන්ද, දෙවියන් වහන්සේ ඔබ ගළවන්නට පැමිණි දවස ඔබ නොදත් හෙයිනි.”</verse>
				<verse number="45">උන් වහන්සේ දේව මාලිගාවට ඇතුළු වී, එහි සිටි වෙළඳුන් පලවා හරින්න පටන්ගෙන,</verse>
				<verse number="46">“ ‘මාගේ ගෘහය යාච්ඤාවේ ගෘහයක් වන්නේ ය’යි ලියා ඇත. එහෙත් ඔබ එය සොරුන්ගේ ගුහාවක් කර තිබේ ය”යි ඔවුන්ට වදාළ සේක.</verse>
				<verse number="47">උන් වහන්සේ දිනපතා දේව මාලිගාවෙහි ඉගැන්වූ සේක. එහෙත්, නායක පූජකයෝ ද විනයධරයෝ ද ප්‍රභූවරයෝ ද උන් වහන්සේ නසාලීමට උපක්‍රම සෙවූ හ.</verse>
				<verse number="48">මුළු ජනතාව උන් වහන්සේගේ ඉගැන්වීම්වලට සතුටින් සවන් දුන් බැවින්, උන් වහන්සේට කිසිවක් කිරීමට ඔවුන්ට ඉඩක් නොලැබිණි.</verse>
			</chapter>
			<chapter number="20">
				<verse number="1">එක් දිනක් උන් වහන්සේ දේව මාලිගාවෙහි සෙනඟට අනුශාසනා කරමින් ද සුබ අස්න දේශනා කරමින් ද සිටිය දී නායක පූජකයෝ ද විනයධරයෝ ද ප්‍රජා මූලිකයන් හා සමඟ උන් වහන්සේ වෙත පැමිණ,</verse>
				<verse number="2">“ඔබ මේ දේවල් කරන්නේ කුමන අධිකාරී බලයකින් ද නොහොත් මේ අධිකාරී බලය ඔබට පැවරුවේ කවරෙක් දැ යි අපට කියන්නැ”යි උන් වහන්සේට කී හ.</verse>
				<verse number="3">උන් වහන්සේ උත්තර දෙමින්, “මමත් ඔබගෙන් ප්‍රශ්නයක් අසමි;</verse>
				<verse number="4">ජොහන් බව්තීස්ම-ස්නාපනය කිරීමේ බලය ලැබුවේ දෙවියන් වහන්සේගෙන් ද නොහොත් මනුෂ්‍යයන්ගෙන් දැ”යි ඇසූ සේක.</verse>
				<verse number="5">එවිට ඔව්හු තම තමන් අතර කතා කොට, “ ‘දෙවියන් වහන්සේගෙන් ය’යි අප කීවොත්, ‘එසේ නම්, ඔහු අදහා නොගත්තේ මන්දැ’යි මොහු අපෙන් අසනු ඇත.</verse>
				<verse number="6">‘මනුෂ්‍යයන්ගෙන් ය’යි කීවොත්, ජොහන් දිවැසිවරයකු ලෙස මුළු ජනතාව විශ්වාස කරන බැවින්, ඔවුන් අපට ගල් ගසනු ඇතැ”යි කියා,</verse>
				<verse number="7">“එය කොතැනින් වූයේ දැ යි අපි නොදනිමු”යි උත්තර දුන්හ.</verse>
				<verse number="8">එවිට උන් වහන්සේ පිළිතුරු දෙමින්, “මා කුමන අධිකාරී බලයකින් මේ දේවල් කරම් දැ යි මමත් ඔබට නොකියමි”යි වදාළ සේක.</verse>
				<verse number="9">උන් වහන්සේ සෙනඟට මේ උපමාව කියන්නට පටන්ගත් සේක: “මිනිසෙක් මිදි වත්තක් වවා, ගොවීන්ට අඳයට දී, බොහෝ කලකට පිටරට ගියේ ය.</verse>
				<verse number="10">පල නෙළන කාලයේ දී, මිදි වත්තේ අස්වැන්නෙන් කොටසක් ගොවීන්ගෙන්, ලබන රිසියෙන්, ඔහු දාසයකු ඔවුන් වෙත යැවී ය. එහෙත් ගොවීහු ඔහුට තළා පෙළා ඔහු හිස් අතින් හැරියෝ ය.</verse>
				<verse number="11">පසුව ඔහු තව දාසයකු යැවී ය. ගොවීහු ඔහුටත් තළා පෙළා, නිගා කොට, හිස් අතින් හැරියෝ ය.</verse>
				<verse number="12">යළිත් ඔහු තුන්වැනියෙකු යැවී ය. ඔව්හු ඔහුටත් තුවාළ කොට එළවා දැමූ හ.</verse>
				<verse number="13">එවිට මිදි වත්තේ හිමියා කතා කොට, ‘මම කුමක් කරම් ද? මාගේ ප්‍රේමවන්ත පුත්‍රයා යවමි. සමහරවිට ඔවුන් ඔහුට ගෞරව කරනු ඇතැ’යි කී ය.</verse>
				<verse number="14">එහෙත් ගොවීහු ඔහු දැක, ඔවුනොවුන් අතර කතා කොට, ‘මොහු උරුමක්කාරයා ය. උරුමය අපට අත් වන පිණිස මොහු මරමු’යි කියා,</verse>
				<verse number="15">ඔහු මිදි වත්තෙන් පිටත දමා මැරූ හ. එහෙයින් මිදි වත්තේ හිමියා ඔවුන්ට කුමක් කරනු ඇද් ද?</verse>
				<verse number="16">ඔහු අවුත් ඒ ගොවීන් වනසා, මිදි වත්ත අන්‍යයන්ට දෙනු ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="17">ඔව්හු ඒ අසා, “එසේ නොවේ වා”යි කී හ. එහෙත් උන් වහන්සේ ඔවුන් දෙස බලා, “එසේ වී නම්: ‘ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම, කොණේ ප්‍රධාන ගල වී ඇත’ යන දහම් පාඨයේ අර්ථය කුමක් ද?</verse>
				<verse number="18">ඒ ගල මත වැටෙන කවුරු නමුත් දැඩි තුවාළ ලබන්නේ ය; ඒ ගල යමෙකු මත වැටෙන්නේ ද, ඔහු එයින් සුණු විසුණු කරනු ලබන්නේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="19">නායක පූජකයෝ ද විනයධරයෝ ද උන් වහන්සේ ඒ උපමාව ඔවුන්ට විරුද්ධ ව එල්ල කළ බව දැන, ඒ පැයේ දී ම උන් වහන්සේ අල්ලාගන්නට සෙවූ හ; එහෙත් සෙනඟ නිසා බිය වූ හ.</verse>
				<verse number="20">ඔව්හු උන් වහන්සේගේ කටින් වචනයක් අල්ලාගෙන උන් වහන්සේ රජයට ද ආණ්ඩුකාරයාගේ බලයට ද බාර දීමට අවස්ථාවක් සොයමින්, තමන් අවංකයන් සේ පෙනී සිටින ඔත්තුකාරයන් යැවූ හ.</verse>
				<verse number="21">ඔව්හු කතා කොට, “ගුරුදේවයෙනි, ඔබ යුක්ති සහගත ලෙස කතා කරන බවත්, අනුශාසනා කරන බවත්, මිනිසුන්ගේ තරාතිරම් නොබලා, දෙවියන් වහන්සේගේ මාර්ගය සැබෑ ලෙස උගන්වන බවත් අපි දනිමු.</verse>
				<verse number="22">අප සීසර් අධිරාජයාට අයබදු ගෙවීම යුතු ද, නැද්දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.</verse>
				<verse number="23">එහෙත් උන් වහන්සේ ඔවුන්ගේ කෛරාටිකකම දැන, “කාසියක් මෙ‍හි ගෙනෙන්න;</verse>
				<verse number="24">එහි තිබෙන රූපයත් සටහනත් කාගේ දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. “සීසර් අධිරාජයාගේ” යයි ඔව්හු කී හ.</verse>
				<verse number="25">“එසේ නම් සීසර්ගේ දේ සීසර්ටත් දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත් දෙන්නැ”යි ඔවුන්ට වදාළ සේක.</verse>
				<verse number="26">මෙ‍සේ සෙනඟ ඉදිරියෙහි දී උන් වහන්සේ කට වචනයෙන් අල්ලාගන්නට ඔවුන්ට බැරි විය. ඔව්හු උන් වහන්සේගේ පිළිතුරට පුදුම ව නිහඬ වූ හ.</verse>
				<verse number="27">පුනරුජ්ජීවනයක් නැතැ යි කියන සද්දුසිවරුන්ගෙන් සමහරෙක් ජේසුස් වහන්සේ වෙත අවුත්,</verse>
				<verse number="28">“ගුරුදේවයෙනි, යම් මිනිසෙකු භාර්යාව ජීවත් ව සිටිය දී දරුපල නොලැබ මළොත්, ඔහුගේ සහෝදරයා ඒ භාර්යාව පාවාගෙන, තම සහෝදරයාගේ නමට දරුවන් ඉපදවිය යුතු යයි මෝසෙස් ලියා ඇත.</verse>
				<verse number="29">ඉදින්, සහෝදරයෝ සත් දෙනෙක් සිටියහ. පළමුවැන්නා භාර්යාවක පාවාගෙන දරුපල නොලබා මළේ ය.</verse>
				<verse number="30">දෙවැන්නාත් තුන්වැන්නාත් ඇය පාවා ගත්හ.</verse>
				<verse number="31">සත් දෙන ම එසේ දරුපල නොලබා මළෝ ය.</verse>
				<verse number="32">පසුව ඒ ස්ත්‍රියත් මළා ය.</verse>
				<verse number="33">සත් දෙනාම ඈ පාවාගත් බැවින්, පුනරුජ්ජීවනයේ දී ඈ ඔවුන්ගෙන් කවරකුගේ භාර්යාව වන්නී දැ”යි ඇසූ හ.</verse>
				<verse number="34">ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මේ යුගයට අයත් වූවෝ ආවාහ විවාහ වන්නාහු ය;</verse>
				<verse number="35">එහෙත් එන යුගයට හා පුනරුජ්ජීවනයට පැමිණීමට වරම් ලත් අය ආවාහ වන්නේ වත් විවාහ වන්නේ වත් නැත.</verse>
				<verse number="36">ඉන්පසු ඔවුන්ට මරණයක් නැත. ඔව්හු දේව දූතයන්ට සම වෙති. පුනරුජ්ජීවන වරය ලත් බැවින් ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය.</verse>
				<verse number="37">‘සමිඳාණන් වහන්සේ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ය, ඊසාක්ගේ දෙවියන් වහන්සේ ය, ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ය’යි කීමෙ‍න් මෝසෙස් පවා, පුනරුජ්ජීවනයක් ඇති බව පඳුර පිළිබඳ පාඨයෙහි පෙන්වා දී ඇත.</verse>
				<verse number="38">උන් වහන්සේ මළවුන්ගේ දෙවියන් වහන්සේ නොව, ජීවතුන්ගේ දෙවියන් වහන්සේ ය. මන්ද, උන් වහන්සේ උදෙසා සියල්ලෝ ම ජීවත් වෙති”යි වදාළ සේක.</verse>
				<verse number="39">එවිට විනයධරයන්ගෙන් සමහරෙක් උත්තර දෙමින්, “ගුරුදේවයෙනි, ඔබේ කතාව කදිම ය”යි කී හ.</verse>
				<verse number="40">උන් වහන්සේගෙන් තවත් කිසි ප්‍රශ්නයක් ඇසීමට ඔවුන්ට ධෛර්ය නොතිබිණි.</verse>
				<verse number="41">ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කරමින්, “ක්‍රිස්තුස් දාවිත්ගේ පුත්‍රයා යයි කියන්නේ කෙසේ ද?</verse>
				<verse number="42">මන් ද? ‘මා විසින් සතුරන් ඔබේ පා යට ලන තෙක් මා දකුණු පස අසුන් ගන්න කියා සමිඳාණෝ මා සමිඳුන්ට වදාළ සේකැ’යි දාවිත් ම ගීතාවලියෙහි ලියා තිබේ.</verse>
				<verse number="43">***</verse>
				<verse number="44">මෙ‍සේ දාවිත් ම උන් වහන්සේට ‘සමිඳාණන්’ යයි කියයි නම් උන් වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේ දැ”යි ඇසූ සේක.</verse>
				<verse number="45">මුළු සෙනඟ සවන් දී සිටිය දී උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට,</verse>
				<verse number="46">“දිග උතුරු සළු හැඳ සක්මන් කිරීමට කැමැති, වෙළඳ පොළේ දී ගෞරවාචාරවලට ද ධර්මශාලාවල දී ප්‍රධාන ආසනවලට ද මංගල භෝජනවල දී ප්‍රධාන ස්ථානවලට ද ඇලුම් කරන,</verse>
				<verse number="47">වැන්දඹුවන්ගේ ගේදොර කාදමමින්, පෙනුමට දිගින් දිගට යාච්ඤා පුද කරන, විනයධරයන්ගෙන් පරෙස්සම්වන්න. ඔව්හු වඩාත් බරපතල දඬුවමකට පත් කරනු ලබන්නෝ ය”යි වදාළ සේක.</verse>
			</chapter>
			<chapter number="21">
				<verse number="1">උන් වහන්සේ අවට බැලූ විට ධනවතුන් සිය පුදපඬුරු දේව මාලිගා ගබඩාවෙහි දමනු දුටු සේක.</verse>
				<verse number="2">එක් දිළිඳු වැන්දඹු ස්ත්‍රියක් තඹ සල්ලි දෙකක් දමනු උන් වහන්සේ දැක,</verse>
				<verse number="3">“ඇත්තෙන් ම මම ඔබට කියමි, මේ දිළිඳු වැන්දඹුව අනෙක් හැමට ම වඩා පඬුරු දැම්මා ය.</verse>
				<verse number="4">මන්ද, ඔවුන් සියල්ලෝ ම තමන්ට තිබුණු වැඩිපුර දෙයින් ගබඩාවට පඬුරු දැමූ හ. එහෙත් මෑ, දුප්පත් ව සිටියදීත් තම දිවි පෙවෙත සඳහා වූ මුළු වත්කම ම පිදුවා ය”යි වදාළ සේක.</verse>
				<verse number="5">සමහරුන් දේව මාලිගාව ගැන කතා කරමින්, එය මනහර ගලින් හා පූජා වස්තුවලින් ද සරසා තිබෙන නියාව පැවසූ විට උන් වහන්සේ කතා කොට,</verse>
				<verse number="6">“ඔබට පෙනෙන මේ දෙය, ගලක් පිට ගලක් ඉතිරි නොවන සේ බිඳ දමනු ලබන කාලයක් පැමිණෙන්නේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="7">“ගුරුදේවයෙනි, ඒ දෙය කවර කලෙක වන්නේ ද? ඒ පිළිබඳ පෙර ලකුණු කවරේ දැ”යි ඔව්හු උන් වහන්සේගෙන් ඇසූ හ.</verse>
				<verse number="8">උන් වහන්සේ කතා කොට, “මුළා නොවෙන්ට බලාගන්න; කුමක් නිසා ද මාගේ නාමයෙන් බොහෝ දෙනෙක් ඉදිරිපත් වී ‘ඒ මම ය, නියමිත මොහොත පැමිණ ඇතැ’යි කියන්නෝ ය; ඔවුන් අනුව නොයන්න.</verse>
				<verse number="9">යුද්ධ සහ විප්ලව ගැන ආරංචි වන විට, භයින් ත්‍රස්ත නොවන්න; මන්ද, මේ දේවල් පළමුකොට සිදුවිය යුතු ය; එහෙත් අවසානය එකෙණෙහි ම නොපැමිණෙන්නේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="10">එවිට උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “ජාතියක් ජාතියකට විරුද්ධ ව ද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධ ව ද නැඟිටිනු ඇත.</verse>
				<verse number="11">මහා භූමිකම්පා ද නොයෙක් තැන්වල සාගත හා වසංගත ද වන්නේ ය; ත්‍රාසජනක දර්ශන ද පුදුම ලකුණු ද අහසෙහි වන්නේ ය.</verse>
				<verse number="12">එහෙත් ඒ සියල්ලට පෙර, මාගේ නාමය නිසා ඔව්හු ඔබ අල්ලාගෙන, ධර්මශාලාවටත්, හිර ගෙවලටත් ඔබ පාවාදෙමින්, ඔබට පීඩා කරන්නෝ ය; ඔබ රජුන් හා ආණ්ඩුකාරයන් ඉදිරියට ගෙන යන්නෝ ය.</verse>
				<verse number="13">ඔබට එය සාක්ෂි දැරීමේ අවස්ථාවක් වන්නේ ය.</verse>
				<verse number="14">ඔබ වගඋත්තර දිය යුත්තේ කෙසේ දැ යි කල් තියා සූදානම් නොවන්නට සිතට ගන්න.</verse>
				<verse number="15">මන්ද, ඔබගේ විරුද්ධවාදීන් කිසිවෙකුට නොබිඳිය හැකි වූ ද නිෂ්ප්‍රභා කළ නොහැකි වූ ද වාග් චතුරතාවක් හා ප්‍රඥාවක් මම ඔබට දෙන්නෙමි.</verse>
				<verse number="16">දෙමවුපියන්, සහෝදරයන් හා නෑ මිතුරන් විසින් ම ඔබ පාවා දෙනු ලබන්නහු ය; ඔව්හු ඔබගෙන් සමහරෙකු මරණයට පත් කරන්නෝ ය.</verse>
				<verse number="17">මාගේ නාමය නිසා සියල්ලෝ ම ඔබට වෛර කරන්නෝ ය.</verse>
				<verse number="18">එහෙත් ඔබගේ කෙස් ගහක් පමණ වත් නාස්ති නොවන්නේ ය.</verse>
				<verse number="19">ස්ථීර ව සිටීමෙ‍න් ඔබ ජීවනය දිනා ගන්නහු ය.”</verse>
				<verse number="20">“යම් කලෙක යුද හමුදා ජෙරුසලම වටලනු ඔබ දකින්නාහු ද, එකල එහි විනාශය ආසන්න බව දැනගන්න.</verse>
				<verse number="21">එකල ජුදයෙහි වසන්නෝ කඳුකරයට පලා යත්වා; නගරය තුළ සිටින්නෝ පිටතට යත්වා; ගම්බද ව සිටින්නෝ නුවරට, ඇතුළු නොවෙත්වා.</verse>
				<verse number="22">මන්ද, ලියා ඇති සියල්ල සම්පූර්ණ වන පිණිස එය විනිශ්චය දවස වන්නේ ය.</verse>
				<verse number="23">ඒ දවස්වල දී ගර්භණීන්ට ද කිරි දෙන මව්වරුන්ට ද වන විපතක මහත! මන්ද, දේශය පිට දැඩි ආපදා හා වේදනා ද මේ සෙනඟ කෙරෙහි දේව සාපය ද වන්නේ ය.</verse>
				<verse number="24">ඔව්හු කඩු මුවහතින් වැටෙන්නෝ ය; සියලු විජාතීන්ගේ රටවලට වහලුන් මෙ‍න් ගෙනයනු ලබන්නෝ ය; විදේශීන්ගේ පාලන අවදිය නිම වනතෙක් ජෙරුසලම විජාතීන් විසින් මඬිනු ලබන්නී ය.”</verse>
				<verse number="25">“හිරු, සඳ හා තාරකාවල ලකුණු පහළ වන්නේ ය. මුහුදේ හා රළ පතරෙහි ඝෝෂාවෙන් වන වියවුලින් ජාතීන් හට සිත් වේදනා වන්නේ ය.</verse>
				<verse number="26">අහසේ බලවේගයන් සොලවනු ලබන බැවින්, ලෝකයට සිදුවන්න යන ආපදා ගැන බලා සිටීමෙ‍න් මිනිසුන්ගේ සිත් බියෙන් ක්ලාන්ත වන්නේ ය.</verse>
				<verse number="27">එකල මනුෂ්‍ය-පුත්‍රයාණන් බලපරාක්‍රමයෙන් ද මහා තේජශ්‍රීයෙන් ද වලාකුළක් මත වඩිනු ඔව්හු දකින්නෝ ය.</verse>
				<verse number="28">මේ දේ සිදුවන්න පටන්ගන්නා කල ඔබේ විමුක්තිය ළං වේගන එන බැවින් නැඟී සිට හිස් ඔසවන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="29">තවද ජේසුස් වහන්සේ ඔවුන්ට උපමාවක් වදාළ සේක. “අත්තික්කා ගස හෝ අන් කිසි ගසක් හෝ ගැන සිතන්න.</verse>
				<verse number="30">ඒවා දලු ලන විට, එය දුටු හැටියේ ම ගිම්හානය දැන් ළං වී ඇතැ යි ඔබ දන්නහු ය.</verse>
				<verse number="31">එලෙස ම, මේ දේ සිදුවනු දක්නා කල, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ළං වී ඇතැ යි දැනගන්න.</verse>
				<verse number="32">ඇත්තෙන් ම මම ඔබට කියමි, මේ සියල්ල සිදුවන තුරු මේ පරම්පරාව පහ ව නොයන්නේ ය.</verse>
				<verse number="33">අහසත්, පොළොවත් පහ ව යන්නේ ය. එහෙත් මාගේ කිසිදු වචනයක් පහ ව නොයන්නේ ම ය.”</verse>
				<verse number="34">“ඒ දවස මලපතක් මෙ‍න් හදිසියෙන් ඔබ අසුකර නොගන්නා පිණිස කම්සැපෙන් ද බීමත්කමෙන් ද මේ ජීවිතයේ කරදරවලින් ද ඔබේ සිත් නොවෙහෙසෙන හැටියට බලාගන්න.</verse>
				<verse number="35">මන්ද, එය මුළු පොළොවෙහි සකල ලෝක වාසීන් පිට පැමිණෙන්නේ ය.</verse>
				<verse number="36">එබැවින් ඒ සිදුවන ආපදා සියල්ලෙන් ජයාන්විත ව ගැළවෙන පිණිස ද මනුෂ්‍ය-පුත්‍රයාණන් ඉදිරියෙහි පෙනී සිටින පිණිස ද අයැදිමින්, හැම වේලේ ම අවදි ව සිටින්න.”</verse>
				<verse number="37">දිවා භාගයෙහි උන් වහන්සේ දේව මාලිගාවෙහි අනුශාසනය කළ සේක. රාත්‍රියෙහි නුවරින් නික්ම ගොස්, ඔලීව නම් කන්දෙහි නැවතුණ සේක.</verse>
				<verse number="38">මුළු ජනතාව දේව මාලිගාවෙහි දී උන් වහන්සේට සවන් දෙනු පිණිස අලුයම් වේලෙහි උන් වහන්සේ වෙත රැස්වූ හ.</verse>
			</chapter>
			<chapter number="22">
				<verse number="1">පාස්කුව නම් වූ නුමුහුන් රොටි මංගල්‍යය ළං විය.</verse>
				<verse number="2">නායක පූජකයෝ ද විනයධරයෝ ද උන් වහන්සේ නැසීමට උපා සෙවූ හ; එසේ කෙළේ ඔවුන් ජනතාවට භයින් සිටි බැවිනි.</verse>
				<verse number="3">ඒ අතර දොළොස් දෙනාගෙන් කෙනෙක් වූ ඉස්කාරියොත් නම් ජූදස්ගේ සිතට සාතන් ඇතුළු විය.</verse>
				<verse number="4">ඔහු ගොස් උන් වහන්සේ පාවා දෙන්නේ කෙසේ ද කියා නායක පූජකයන් හා දේව මාලිගාවේ මුර සෙබළුන් සමඟ කතා කර ගත්තේ ය.</verse>
				<verse number="5">ඔව්හු ඉතා සතුටු ව ඔහුට මුදල් දීමට පොරොන්දු වූ හ.</verse>
				<verse number="6">ඔහු ඊට එකඟ වී, සෙනඟ නැති වේලාවක උන් වහන්සේ ඔවුන් අතට පාවා දෙනු පිණිස සුදුසු අවස්ථාවක් සෙවී ය.</verse>
				<verse number="7">පාස්කු බැටළුවා පූජා කළ යුතු නුමුහුන් රොටි මංගල්‍යය පවත්වන දවස පැමිණියේ ය.</verse>
				<verse number="8">එවිට උන් වහන්සේ පේදුරු ද ජොහන් ද යවමින්, “ඔබ ගොස් අප විසින් පාස්කු භෝජනය වළඳන පිණිස පිළියෙළ කරන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="9">“කොතැන පිළියෙළ කරනවාට ඔබ වහන්සේ කැමැති සේක් දැ”යි ඔව්හු ඇසූ හ.</verse>
				<verse number="10">උන් වහන්සේ, “ඔබ නුවරට ඇතුළු වූ විට, වතුර කළයක් ගෙන යන මිනිසෙක් ඔබට හමු වන්නේ ය; ඔහු පස්සේ ගොස් ඔහු යන ගෙදරට ඇතුළු වී,</verse>
				<verse number="11">ගෘහ මූලිකයාට කතා කොට, ‘මා විසින් මාගේ ශ්‍රාවකයන් සමඟ පාස්කු භෝජනය වැළඳීම සඳහා වෙන් කර ඇති කාමරය කොයි ද කියා ගුරුදේවයාණෝ අසන සේකැ’යි කියන්න.</verse>
				<verse number="12">සූදානම් ව ඇති ලොකු උඩුමහල් කාමරයක් ඔහු ඔබට පෙන්වනු ඇත. එහි පිළියෙළ කරන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="13">ඔව්හු ගොස්, උන් වහන්සේ වදාළ ලෙස ම සියල්ල සම්බවූයෙන්, පාස්කු භෝජනය පිළියෙළ කළහ.</verse>
				<verse number="14">නියම වේලාව පැමිණි කල, උන් වහන්සේ කෑමට හිඳගත් සේක. ප්‍රේරිතයෝ ද උන් වහන්සේ සමඟ හිඳගත්හ.</verse>
				<verse number="15">උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “මා වද විඳීමට පළමුවෙන්, මේ පාස්කු භෝජනය ඔබ සමඟ වළඳන්නට අතිශයින් ආශා වීමි.</verse>
				<verse number="16">ඒ මන්දැ යි මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ දී එය මුදුන්පත් වනතුරු මම එය තවත් නොවළඳමි”යි වදාළ සේක.</verse>
				<verse number="17">උන් වහන්සේ කුසලානක් ගනිමින්, තුති පුදා, “මෙ‍ය ගෙන ඔබ අතරෙහි බෙදාගන්න.</verse>
				<verse number="18">මන්ද, මම ඔබට කියමි, මෙ‍තැන් පටන්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය පැමිණෙන තුරු, මම මිදියුස පානය නො කරන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="19">උන් වහන්සේ රොටි ගෙන තුති පුදා, ඒවා කඩා, ඔවුන්ට දී, “ඔබ උදෙසා දෙනු ලබන මාගේ ශරීරය මේ ය; මා සිහි කිරීම පිණිස මෙ‍ය කරන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="20">එලෙස ම භෝජනයෙන් පසු කුසලාන දී, “මේ කුසලාන ඔබ උදෙසා වගුරුවනු ලබන මාගේ රුධිරයෙන් කළ නව ගිවිසුම ය.</verse>
				<verse number="21">එහෙත්, දැන් මා පාවා දෙන්නාගේ අත මා ළඟින් ම මේසය මත තිබේ.</verse>
				<verse number="22">මන්ද, මනුෂ්‍ය-පුත්‍රයාණෝ නියමිත ගමන යන සේක් ම ය. එහෙත්, ඔහු පාවා දෙන ඒ මනුෂ්‍යයාට වන විපතක මහතැ”යි උන් වහන්සේ වදාළ සේක.</verse>
				<verse number="23">එවිට එය කරන්නට යන්නේ ඔවුන්ගෙන් කවරෙක් දැ යි ඔව්හු තම තමන් අතර විමසන්නට පටන්ගත්හ.</verse>
				<verse number="24">තමන් අතරෙන් ශ්‍රේෂ්ඨතම ලෙස සැලකිය යුත්තේ කවරෙක් දැ යි ශ්‍රාවකයන් අතර විවාදයක් ඇති විය.</verse>
				<verse number="25">උන් වහන්සේ ඔවුන්ට මෙ‍සේ වදාළ සේක: “විජාතීන්ගේ රජවරු වැසියන් කෙරෙහි අධිපති බලය පාන්නාහ; ඔවුන් කෙරෙහි බලය පවත්වන්නෝ ජාති හිතෛෂීහු යයි කියනු ලබති.</verse>
				<verse number="26">එහෙත් ඔබ අතර එය එසේ නොවේ. ඔබ අතර ශ්‍රේෂ්ඨ තැනැත්තා ඉතා සුළු තැනැත්තා මෙ‍න් ද නායකයා සේවකයා මෙ‍න් ද වේ වා;</verse>
				<verse number="27">වඩා උතුම් කවරේ ද, කෑමට හිඳින තැනැත්තා ද, නැතහොත් සේවකයා ද? කෑමට හිඳින තැනැත්තේ නොවේ ද? එහෙත්, මම නම්, ඔබ මැද සේවකයා මෙ‍න් වෙමි.</verse>
				<verse number="28">මාගේ පරීක්ෂාවල දී මා සමඟ සිටි අය ඔබ ම ය.</verse>
				<verse number="29">එබැවින් මාගේ පියාණන් වහන්සේ මට රාජ්‍යය පවරා දුන් සේ ම,</verse>
				<verse number="30">මාගේ රාජ්‍යයෙහි මාගේ මේසයේ දී කන බොන පිණිස ද සිහසුන් අරා ඉශ්රායෙල් ගෝත්‍ර දොළොස කෙරෙහි විනිශ්චය කරන පිණිස ද වරය මමත් ඔබට පවරා දෙමි.”</verse>
				<verse number="31">“සීමොන්, සීමොන්, මෙ‍ය අසන්න. තිරිඟු පොළන්නාක් මෙ‍න් ඔබ සියලු දෙන පොළාලන්නට සාතන් අවසර ලබා ඇත.</verse>
				<verse number="32">එහෙත්, ඔබේ ඇදහිල්ල නොබිඳෙන පිණිස ඔබ උදෙසා මම යාච්ඤා කෙළෙමි. ඔබ යළිත් හැරුණු පසු, ඔබේ සහෝදරයන් ධෛර්යවත් කරන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="33">ඔහු උත්තර දෙමින්, “ස්වාමීනි, ඔබ හා සමඟ හිරේ යාමට හා මරණයට වුව ද මම සූදානම් ව සිටිමි”යි උන් වහන්සේට කී ය.</verse>
				<verse number="34">ජේසුස් වහන්සේ කතා කරමින්, “පේදුරු, මම මෙ‍ය ඔබට කියමි, ඔබ මා නොදන්නා බව තුන් වරක් කියන තුරු, අද රෑ කුකුළා නොහඬළන්නේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="35">උන් වහන්සේ ඔවුන්ට වදාරමින්, “පසුම්බියක් වත්, මල්ලක් වත්, පා වහන් වත් නැති ව මා ඔබ යැවූ කල කිසිවක් හිඟ වී දැ”යි ඇසූ සේක. ඔව්හු උත්තර දෙමින්, “නැතැ”යි කී හ.</verse>
				<verse number="36">උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “එහෙත් දැන් පසුම්බියක් ඇති තැනැත්තා එය ගනී වා, එසේ ම මල්ලක් ද ගනී වා, කඩුවක් නැති තැනැත්තා තම සළුව විකුණා, කඩුවක් මිළ දී ගනී වා.</verse>
				<verse number="37">මම මෙ‍ය ඔබට කියමි, ‘උන් වහන්සේ අපරාධකරුවන් සමඟ ගණන් ගනු ලැබී ය’යි ලියා තිබෙන ඒ කීම මා තුළින් මුදුන් පත් විය යුතු ය; මා ගැන ලියා ඇති දෙය සම්පූර්ණ වන්නේ ම ය”යි වදාළ සේක.</verse>
				<verse number="38">ඔව්හු කතා කරමින්, “ස්වාමීනි, බැලුව මැනව, කඩු දෙකක් මෙ‍හි ඇතැ”යි කී හ. උන් වහන්සේ ද: “ඔය ඇති”යි වදාළ සේක.</verse>
				<verse number="39">එවිට ජේසුස් වහන්සේ පිටත් ව සිරිත් පරිදි ඔලීව කන්දට වැඩිය සේක; ශ්‍රාවකයෝ ද උන් වහන්සේ පසුපස්සේ ගියහ.</verse>
				<verse number="40">උන් වහන්සේ එහි පැමිණි පසු කතා කොට, “ඔබ පරීක්ෂාවට නොවැටෙන ලෙස යාච්ඤා කරන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="41">ගලක් ගසන තරම් දුරක් උන් වහන්සේ ඔවුන්ගෙන් ඈත් වී, දණින් හිඳ යාච්ඤා කරමින්,</verse>
				<verse number="42">“පියාණෙනි, ඔබ කැමැති සේක් නම්, මේ කුසලාන මාගෙන් පහ කළ මැනව. එහෙත්, මාගේ කැමැත්ත නොව ඔබේ කැමැත්ත වේ වා”යි වදාළ සේක.</verse>
				<verse number="43">එකල දේව දූතයෙක් ස්වර්ගයෙන් පහළ වී, උන් වහන්සේ ශක්තිමත් කෙළේ ය.</verse>
				<verse number="44">උන් වහන්සේ දැඩි සිත් වේදනාවෙන් පෙළුණු සේක්, වඩාත් ඕනෑකමින් යාච්ඤා කළ සේක. උන් වහන්සේගේ ඩාදිය ලේ බින්දු මෙ‍න් බිම වැටිණි.</verse>
				<verse number="45">උන් වහන්සේ යාච්ඤා කරමින් සිට නැඟිට, ශ්‍රාවකයන් වෙත අවුත්, ඔවුන් ශෝකය නිසා නිඳා හිඳිනු දැක,</verse>
				<verse number="46">“ඔබ නිඳා ඉන්නේ මන් ද? පරීක්ෂාවට නොවැටෙන පිණිස නැඟිට යාච්ඤා කරන්නැ”යි ඔවුන්ට වදාළ සේක.</verse>
				<verse number="47">උන් වහන්සේ මෙ‍වදන් පවසත් ම සමූහයක් පැමිණියහ. දොළොස් දෙනාගෙන් එක් කෙනෙක් වූ ජූදස් නමැත්තා ඔවුන්ට පෙරටුව අවුත්, ජේසුස් වහන්සේ සිඹින පිණිස උන් වහන්සේ වෙතට ළං විය.</verse>
				<verse number="48">ජේසුස් වහන්සේ ද “ජූදස්, ඔබ සිඹීමකින් මනුෂ්‍ය-පුත්‍රයාණන් පාවා දෙන්නෙහි දැ”යි ඇසූ සේක.</verse>
				<verse number="49">උන් වහන්සේ සමඟ සිටි අය සිදු වන්න යන දෙය දැක, “ස්වාමීනි, කඩු පහරක් දෙමු දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.</verse>
				<verse number="50">ඔවුන්ගෙන් එක් කෙනෙක් උත්තම පූජකයාගේ දාසයාට ගසා, ඔහුගේ දකුණු කන කපා දැමී ය.</verse>
				<verse number="51">එහෙත් ජේසුස් වහන්සේ, “ඔය ඇති, නවතින්න,” කියා ඔහුගේ කන අතගා සුව කළ සේක.</verse>
				<verse number="52">ජේසුස් වහන්සේ තමන්ට විරුද්ධ ව ආ නායක පූජකයන්ට ද දේව මාලිගාවේ මුර සෙබළුන්ට ද ප්‍රජා මූලිකයන්ට ද කතා කොට, “ඔබ සොරෙකු හා සටනට මෙ‍න් කඩු මුගුරු රැගෙන ආවාහු ද?</verse>
				<verse number="53">දිනපතා මා දේව මාලිගාවෙහි ඔබ හා සමඟ සිටිය දී ඔබ මට විරුද්ධ ව අත් එසෙව්වේ නැත. එහෙත් මෙ‍ය ඔබගේ අවස්ථාව ය. අන්ධකාරය රජ කරන මොහොත ය”යි වදාළ සේක.</verse>
				<verse number="54">ඔව්හු ජේසුස් වහන්සේ අල්ලාගෙන උත්තම පූජකයාගේ මැදුරට ගෙන ගියහ. පේදුරු ද ඈතින් පසුපස්සේ ගියේ ය.</verse>
				<verse number="55">ඔවුන් මළුව මැද ගිනි මැලයක් ගසා එක් ව හිඳගෙන සිටිය දී, පේදුරු ඔවුන් මැද හිඳගත්තේ ය.</verse>
				<verse number="56">එවිට එක් සේවිකාවක් ඔහු ගිනි මැලය ළඟ සිටිනු දැක, ඔහු දෙස හොඳට බලා, “මේ මිනිසාත් ඔහු සමඟ සිටියේ ය”යි කීවා ය.</verse>
				<verse number="57">“ස්ත්‍රිය, නැත. මම ඔහු නාඳුනමි”යි පේදුරු කී ය.</verse>
				<verse number="58">මඳ වේලාවකට පසු තවත් කෙනෙක් ඔහු දැක, “ඔබත් ඔවුන්ගෙන් එක් කෙනෙක් ය”යි කී ය. පේදුරු පිළිතුරු දෙමින්, “නැත, නැත, එසේ නොවේ ය”යි කී ය.</verse>
				<verse number="59">පැයකට පමණ පසු තවත් කෙනෙක් කතා කොට, “ඇත්තෙන් ම මොහුත් ඔහු සමඟ සිටියේ ය. මන්ද, මොහු ගලීලයෙකැ”යි තරයේ ම කියා සිටියේ ය.</verse>
				<verse number="60">පේදුරු ද, “ඔබ කියන දේ මට නොතේරේ” යයි කී ය. එකෙණෙහි ම, ඔහු කතා කරද්දී ම, කුකුළෙක් හැඬලී ය.</verse>
				<verse number="61">සමිඳාණන් වහන්සේ හැරී පේදුරු දෙස බැලූ සේක. පේදුරු ද, “අද කුකුළා හඬලන්නට පළමුවෙන් ‘ඔහු නාඳුනමි’යි තුන් වරක් ඔබ මා ගැන කියන්නෙහි ය”යි සමිඳාණන් වහන්සේ ඔහුට පැවසූ කීම සිහි කොට,</verse>
				<verse number="62">පිටතට ගොස්, දැඩි දුකින් හැඬී ය.</verse>
				<verse number="63">එකල ජේසුස් වහන්සේ අල්ලාගෙන සිටි මනුෂ්‍යයෝ උන් වහන්සේට කවට කම් කරමින් පහර දුන්හ.</verse>
				<verse number="64">ඔව්හු ජේසුස් වහන්සේගේ ඇස් වසා බැඳ, “ඔබට ගැසුවේ කවරෙක් ද කියා දිවැසින් කියන්නැ”යි උන් වහන්සේට කී හ.</verse>
				<verse number="65">ඔව්හු තවත් බොහෝ දේ උන් වහන්සේට විරුද්ධ ව කියමින්, අපහාස කළහ.</verse>
				<verse number="66">පහන් වූ කෙණෙහි ම, නායක පූජකයන් ද විනයධරයන් ද ඇතුළු ප්‍රජා මූලිකයන්ගේ සංගමය රැස් ව, සිය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට උන් වහන්සේ ගෙන ගොස්,</verse>
				<verse number="67">“ඔබ ක්‍රිස්තුස් ද? අපට කියන්නැ”යි කී හ. උන් වහන්සේ පිළිතුරු දෙමින්, “මා ඔබට කීවත් ඔබ විශ්වාස කරන්නේ නැත;</verse>
				<verse number="68">මා ඔබගෙන් ඇසුවත් ඔබ පිළිතුරු දෙන්නේ නැත.</verse>
				<verse number="69">එහෙත් මෙ‍තැන් පටන් මනුෂ්‍ය-පුත්‍රයාණන් දෙවියන් වහන්සේගේ බලපරාක්‍රමයේ දකුණු පස වැඩහිඳිනු ඇතැ”යි ඔවුන්ට වදාළ සේක.</verse>
				<verse number="70">ඔව්හු සියල්ලෝ, “එසේ නම් ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ දැ”යි ඇසූ හ. උන් වහන්සේ ද, “මා එසේ බැව් පවසන්නේ ඔබ ම ය”යි වදාළ සේක.</verse>
				<verse number="71">ඔව්හු ද, “වෙන සාක්කියක් අපට කුමට ද? මෙ‍ය ඔහුගේ ම කටින් කියනවා අපගේ ම කණින් ඇසීමු”යි කී හ.</verse>
			</chapter>
			<chapter number="23">
				<verse number="1">එවිට ඒ මුළු සමූහයා නැඟිට, උන් වහන්සේ පිලාත් ඉදිරියට ගෙන ගියහ.</verse>
				<verse number="2">ඔව්හු උන් වහන්සේ ගැන චෝදනා කරන්නට පටන්ගෙන, “මොහු අපේ ජාතිය කැරලිගැසීමට පොළඹවන බවත්, අධිරාජයාට අයබදු දීම තහනම් කරන බවත්, තමා ක්‍රිස්තුස් නම් රජෙක් යයි කියාගන්න බවත් අපි දැනගතිමු”යි කී හ.</verse>
				<verse number="3">පිලාත් කතා කරමින්, “ඔබ ජුදෙව්වරුන්ගේ රජු දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. “එසේ කියන්නේ ඔබ ය”යි උන් වහන්සේ වදාළ සේක.</verse>
				<verse number="4">එවිට පිලාත් නායක පූජකයන්ට ද සමූහයන්ට ද කතා කොට, “මේ මනුෂ්‍යයා අත කිසි වරදක් මට නොපෙනේ ය”යි කී ය.</verse>
				<verse number="5">එහෙත් ඔව්හු පිළිතුරු දෙමින්, “මොහු ගලීලයේ සිට මෙ‍තැන දක්වා ජුදය මුළුල්ලෙහි උගන්වමින් සෙනඟ කළඹන්නේ ය”යි තරයේ ම කියා සිටියහ.</verse>
				<verse number="6">පිලාත් ඒ අසා, “මේ මනුෂ්‍යයා ගලීලයෙක් දැ”යි විචාළේ ය.</verse>
				<verse number="7">එවිට පිලාත් උන් වහන්සේ හෙරොද්ගේ ප්‍රදේශයට අයිති බව දැන, හෙරොද් ඒ දවස්වල ජෙරුසලමෙහි සිටි බැවින්, උන් වහන්සේ ඔහු වෙත යැවී ය.</verse>
				<verse number="8">හෙරොද් ජේසුස් වහන්සේ දැක, ඉතා සන්තෝෂ විය. මන්ද, ඔහු උන් වහන්සේ ගැන අසා සිටි බැවින් බොහෝ කලෙක පටන් උන් වහන්සේ දකින්න ආශාවෙන් සිටියේ ය. උන් වහන්සේ යම් ආශ්චර්යයක් කරනු දැකීමට ද ඔහු බලාපොරොත්තු විය.</verse>
				<verse number="9">ඔහු උන් වහන්සේගෙන් බොහෝ ප්‍රශ්න ඇසූ නමුත් උන් වහන්සේ කිසි පිළිතුරක් නුදුන් සේක.</verse>
				<verse number="10">නායක පූජකයෝ ද විනයධරයෝ ද නැඟිට, උන් වහන්සේට තදින් වරද තැබූ හ.</verse>
				<verse number="11">හෙරොද් තමාගේ සෙබළුන් සමඟ උන් වහන්සේ හෙළා දකිමින් සරදම් කොට, විචිත්‍ර වස්ත්‍රයක් හඳවා, උන් වහන්සේ පිලාත් වෙත පෙරළා යැවී ය.</verse>
				<verse number="12">ඊට පෙර, කාලයක් ම මේ දෙදෙනා විරුද්ධවාදී ව සිටියත් ඒ දවසේ ම මිත්‍ර වූහ.</verse>
				<verse number="13">පිලාත් නායක පූජකයන් ද ප්‍රධානීන් ද සෙනඟ ද රැස් කරවා,</verse>
				<verse number="14">ඔවුන්ට කියනුයේ, “ඔබ මේ මනුෂ්‍යයා සෙනඟ කැරලිගැසීමට පොළඹවන්නෙකැ යි කියා මා වෙත ගෙනාවහු ය. බලන්න, ඔබ ඉදිරියෙහි මා ඔහු විභාග කළ විට, ඔබ විසින් මොහුට විරුද්ධ ව කළ චෝදනාවලින් කිසිවක් ගැන ඔහු වරදකාරයෙකැ යි මට පෙනුණේ නැත;</verse>
				<verse number="15">හෙරොද්ට ද පෙනුණේ නැත. හෙරොද් මොහු නැවත අප වෙත එවුයේ ඒ නිසා ය; බලන්න, මරණීය දණ්ඩනයට සුදුසු කිසිවක් ඔහු කර නැත.</verse>
				<verse number="16">එබැවින් මම ඔහුට තළා නිදහස් කොට හරිමි”යි කී ය.</verse>
				<verse number="17">එසේ කීවේ පාස්කු මංගල්‍යයක දී එක මිනිසකු නිදහස් කර දීමට ඔහු බැඳී සිටි බැවිනි.</verse>
				<verse number="18">එහෙත් සියල්ලෝ ම, “මොහු මරාදමන්න, බරබ්බස් අපට නිදහස් කර දෙන්නැ”යි එක හඬින් මොරගැසූ හ.</verse>
				<verse number="19">බරබ්බස් වනාහි නගරයේ සිදුවූ කැරලිගැසීමක් ද මිනී මැරීමක් ද නිසා හිරගෙට යවනු ලැබූවෙකි.</verse>
				<verse number="20">පිලාත් ජේසුස් වහන්සේ මුදා හැරීමට කැමැති ව නැවතත් ඔවුන්ට කතා කෙළේ ය.</verse>
				<verse number="21">එහෙත් ඔව්හු, “මොහු කුරුසියෙහි ඇණ ගසන්න! කුරුසියෙහි ඇණ ගසන්න!” කියා මොරගැසූ හ.</verse>
				<verse number="22">ඔහු තෙ වන වරටත් කතා කොට, “කිමෙ‍ක් ද? මොහු කවර අපරාධයක් කෙළේ ද? මොහු අත මරණීය දණ්ඩනයට සුදුසු කිසිවක් නැත. එබැවින් මොහුට තළා මුදා හරිමි”යි කී ය.</verse>
				<verse number="23">එහෙත්, උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගසන ලෙස ම ඉල්ලා ඔව්හු වැඩි වැඩියෙන් මොරගැසූ හ. ඔවුන්ගේ උද්ඝෝෂණය සාර්ථක විය.</verse>
				<verse number="24">පිලාත් ඔවුන්ගේ ඉල්ලීම පරිදි තීන්දුව දුන්නේ ය.</verse>
				<verse number="25">තවද, ඔහු කැරලිගැසීම හා මිනී මැරීම නිසා හිර ගෙයි දමා සිටි, සෙනඟ ඉල්ලූ තැනැත්තා මුදා හැරියේ ය. එහෙත් ඔහු ජේසුස් වහන්සේ ඔවුන්ගේ හිතුමනාපයට පාවා දුන්නේ ය.</verse>
				<verse number="26">ඔව්හු උන් වහන්සේ ගෙන යන කල, පිටිසරින් පැමිණි සිරේනියේ සීමොන් නම් මනුෂ්‍යයෙකු අල්ලාගෙන, ජේසුස් වහන්සේ පසුපස්සෙන් කුරුසිය දරාගෙන යන පිණිස එය ඔහු පිට තැබූ හ.</verse>
				<verse number="27">පොදු ජනයාගෙන් ද උන් වහන්සේ නිසා හඬා වැලපෙන ස්ත්‍රීන්ගෙන් ද යුක්ත වූ විශාල පිරිසක් උන් වහන්සේ පසුපස්සේ, ගමන් ගත්හ.</verse>
				<verse number="28">ජේසුස් වහන්සේ ඔවුන් දෙසට හැරී, “ජෙරුසලමේ දූවරුනි, මා නිසා නොහඬන්න, ඔබ සහ ඔබේ දරුවන් නිසා ම හඬන්න.</verse>
				<verse number="29">වඳ ස්ත්‍රීහු ද කිසි කලෙක දරුවන් නොදැරූ කුස ද කිරි නුදුන් පියයුරු ද භාග්‍යවන්ත යයි පවසන දවස් පැමිණෙන්නේ ය.</verse>
				<verse number="30">ඒ දවස්වල දී ඔව්හු කඳු අමතා, ‘අප පිට වැටෙන්න’ හෙල් අමතා, ‘අප වසාගන්නැ’යි කියන්න පටන්ගන්නෝ ය.</verse>
				<verse number="31">මන්ද, ඔව්හු අමු ගසට මේ දේ කරත් නම්, වියළුණු ගසට කුමක් නො කරනු ඇද්දැ”යි වදාළ සේක.</verse>
				<verse number="32">මරණ දඬුවමට වරදකරුවන් වූ තවත් දෙදෙනෙක් ද උන් වහන්සේ සමඟ ගෙන යන ලදහ.</verse>
				<verse number="33">ඔව්හු කපාලපිටිය නම් ස්ථානයට පැමිණ, එහි දී උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගැසූ හ. වරදකරුවන්ගෙන් එක් කෙනෙකු උන් වහන්සේගේ දකුණු පස ද, අනික් එක්කෙනා වම් පස ද කුරුසිවල ඇණ ගැසූ හ.</verse>
				<verse number="34">ජේසුස් වහන්සේ කතා කොට, “පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනව; ඔවුන් කරන දෙය ඔව්හු නොදනිති”යි වදාළ සේක. ඔව්හු උන් වහන්සේගේ වස්ත්‍ර බෙදාගැනීම පිණිස දාදු දැමූ හ.</verse>
				<verse number="35">සෙනඟ ද බලාගෙන සිටියහ. ප්‍රධානීහු උන් වහන්සේට ගැරහුම් කරමින්, “මොහු අනුන් ගැළවීය; මොහු දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් නම්, උන් වහන්සේගේ තෝරාගත් තැනැත්තේ නම්, තමා ම ගළවා ගනීවා”යි කී හ.</verse>
				<verse number="36">මුර සෙබළෝ ද උන් වහන්සේ ළඟට අවුත් උන් වහන්සේට කාඩි පිළිගන්වා,</verse>
				<verse number="37">“ඔබ ජුදෙව්වරුන්ගේ රජු නම්, ඔබ ඔබ ම ගළවාගන්න” කියා සරදම් කළහ.</verse>
				<verse number="38">“ජුදෙව්වරුන්ගේ රජ මොහු ය”යි කියා ලියන ලද පුවරු කඩක් උන් වහන්සේට ඉහළින් තබා තිබිණි.</verse>
				<verse number="39">එල්ලා සිටි වරදකරුවන්ගෙන් එක් කෙනෙක් උන් වහන්සේට අපහාස කරමින්, “ඔබ ක්‍රිස්තුස් නොවේ ද? ඔබ වත් ගළවාගෙන අප වත් ගළවා ගන්නැ”යි කී ය.</verse>
				<verse number="40">අනෙකා ඔහුට තරවටු කරමින්, එම දඬුවමට පැමිණ සිටින ඔබ දෙවියන් වහන්සේට වත් බිය නැද් ද?</verse>
				<verse number="41">අපට දඬුවම් ලැබීම සාධාරණ ය: අපට මේ ලැබෙන්නේ අපේ ක්‍රියාවලට සුදුසු විපාක හැටියට ය. එහෙත්, මේ තැනැත්තා කිසි ම වරදක් කර නැතැ”යි උත්තර දුන්නේ ය.</verse>
				<verse number="42">තවද ඔහු, “ජේසුස් වහන්ස, ඔබ රාජශ්‍රීයෙන් වඩිනා කල මා සිහි කළ මැනවැ”යි කී ය.</verse>
				<verse number="43">උන් වහන්සේ ද, කතා කරමින් “ඇත්තෙන් ම මම ඔබට කියමි, ඔබ මා සමඟ අද ම පාරාදීසයෙහි සිටින්නෙහි ය”යි වදාළ සේක.</verse>
				<verse number="44">එය මද්දහන් වේලාව පමණ විය; රට පුරා අන්ධකාරයක් පහළ වී, එය සවස තුන දක්වා පැවතිණි.</verse>
				<verse number="45">හිරු අඳුරු විය; දේව මාලිගාවේ තිරය දෙකඩ ව ඉරී ගියේ ය.</verse>
				<verse number="46">ජේසුස් වහන්සේ මහ හඬින් මොරගසා, “පියාණෙනි, ඔබ හස්තයට මාගේ ආත්මය භාර දෙමි”යි වදාළ සේක. මෙ‍වදන් කියා උන් වහන්සේ අවසන් හුස්ම හෙළූ සේක.</verse>
				<verse number="47">එවිට ශතාධිපතියා සිදු වූ දෙය දැක දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින්, “සැබැවින් ම මේ මනුෂ්‍යයා නිදොස් කෙනෙකැ”යි කීවේ ය.</verse>
				<verse number="48">මේ සිද්ධිය බැලීමට ආ සමූහයා සිදු වූ සියල්ල දැක, ළයට ගසාගනිමින් ආපසු ගියහ.</verse>
				<verse number="49">උන් වහන්සේ දැන හැඳින සිටි සියල්ලෝ ද ගලීලයේ සිට උන් වහන්සේ සමඟ ආ ස්ත්‍රීහු ද ඒ දේ නරඹමින් දුරින් සිටියහ.</verse>
				<verse number="50">ජුදෙව් නුවරක් වූ අරිමාතියෙන් පැමිණි ජෝසෙප් නම් මනුෂ්‍යයෙක් විය. ඔහු යහපත් දැහැමි තැනැත්තෙකි. ජුදා මන්ත්‍රණ සභාවෙහි ගරුතර සාමාජිකයෙකි. ඔහු ජුදෙව්වරුන්ගේ තීරණය හා ක්‍රියා කලාපය අනුමත නොකෙළේ ය; ඔහු දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ අපේක්ෂාවෙන් සිටියේ ය.</verse>
				<verse number="51">***</verse>
				<verse number="52">ඔහු පිලාත් වෙත ගොස් ජේසුස් වහන්සේගේ මෘත දේහය ඉල්ලී ය.</verse>
				<verse number="53">ඔහු එය පහතට ගෙන, සිහින් හණ රෙද්දකින් වෙළා, ඒ දක්වා කිසිවකු නොතැබූ, ගලක කණින ලද සොහොනක උන් වහන්සේ තැන්පත් කෙළේ ය.</verse>
				<verse number="54">ඒ දවස සබත් දිනයට සූදානම් වීමේ දවස වන සිකුරාදා විය;</verse>
				<verse number="55">ගලීලයේ සිට උන් වහන්සේ සමඟ ආ ස්ත්‍රීහු ගොස්, සොහොන් ගෙය ද උන් වහන්සේගේ මෘත දේහය තැන්පත් කළ අන්දම ද බලාගත්හ.</verse>
				<verse number="56">ඔව්හු ආපසු අවුත් සුගන්ධ ද්‍රව්‍ය හා විලේපන සූදානම් කළහ. ව්‍යවස්ථාවට අනුකූල ව ඔව්හු සබත් දවසේ නිවාඩු ගත්හ.</verse>
			</chapter>
			<chapter number="24">
				<verse number="1">සතියේ පළමු වන දින හිමිදිරි උදයේ තමන් සූදානම් කළ සුවඳ ද්‍රව්‍ය රැගෙන ස්ත්‍රීහු සොහොන් ගෙය ළඟට ගියාහු,</verse>
				<verse number="2">ගල සොහොන් ගෙයින් ඉවතට පෙරළා තිබෙනු දුටුවෝ ය.</verse>
				<verse number="3">ඔව්හු ඇතුළු වූ කල එහි ජේසුස් ස්වාමීන් වහන්සේගේ ශරීරය නුදුටුවෝ ය.</verse>
				<verse number="4">ඒ ගැන ඔවුන් වියවුල් ව සිටිය දී, කාන්ති විහිදුවන වස්ත්‍ර හැඳගත් මනුෂ්‍යයෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිටියහ.</verse>
				<verse number="5">ඒ දුටු ඔවුන් බියපත් ව තමන්ගේ මුහුණු බිමට හරවාගත් කල ඒ මනුෂ්‍යයෝ කතා කොට, “ජීවමාන තැනැන් වහන්සේ මළවුන් අතර සොයන්නේ මන් ද?</verse>
				<verse number="6">උන් වහන්සේ මෙ‍හි නැත, උන් වහන්සේ උත්ථාන වූ සේක.</verse>
				<verse number="7">මනුෂ්‍ය-පුත්‍රයාණන් පව්කාර මිනිසුන්ගේ අත්වලට පාවාදෙනු ලබන්නටත්, කුරුසියෙහි ඇණ ගසනු ලබන්නටත්, තුන් වන දා නැවත නැඟිටින්නටත් යුතු ම යයි කියා උන් වහන්සේ ගලීලයේ සිටිය දී පැවසූ හැටි සිහි කරන්නැ”යි ඔවුන්ට කී හ.</verse>
				<verse number="8">එකල ඔව්හු උන් වහන්සේගේ වචන සිහි කොට සොහොන් ගෙයින් හැරී අවුත්,</verse>
				<verse number="9">එපවත් සියල්ල එකොළොස් දෙනාට ද සෙසු සියල්ලන්ට ද දැන්වූ හ.</verse>
				<verse number="10">ඒ ස්ත්‍රීහු නම්: මග්දලායේ මරියා, ජොවන්නා සහ ජාකොබ්ගේ මව වූ මරියා ය. ඔවුන් සහ අනිකුත් ස්ත්‍රීහු ද ප්‍රේරිතයන්ට එපවත් කී හ.</verse>
				<verse number="11">මෙ‍පුවත ඔවුන්ට ප්‍රලාපයක් සේ පෙනී ගියෙන්, ඔව්හු ඔවුන්ගේ කීම විශ්වාස නොකළහ.</verse>
				<verse number="12">එහෙත්, පේදුරු නැඟිට සොහොන් ගෙය ළඟට දුව ගොස්, නැමී බලා, හණ රෙදි පමණක් තිබෙනු දැක, සිදුවූ දේ ගැන පුදුම වෙමින් සිය නිවෙසට ගියේ ය.</verse>
				<verse number="13">එම දවසෙහි ශ්‍රාවකයන්ගෙන් දෙදෙනෙක් ජෙරුසලමේ සිට කිලෝමීටර් එකොළහක් පමණ දුර වූ එම්මාවුස් නම් ගමට යමින් සිටියහ.</verse>
				<verse number="14">එසේ යද්දී, ඔව්හු සිදුවූ සියල්ල ගැන කතා කරමින් ගියහ.</verse>
				<verse number="15">තවද, ඔවුන් සාකච්ඡා කරමින් යද්දී, ජේසුස් වහන්සේ ම ඔවුන් සමීපයට වැඩ, ඔවුන් හා සමඟ ගමන්ගත් සේක.</verse>
				<verse number="16">ඔවුන් උන් වහන්සේ දුටු නමුත්, ඔවුන්ට උන් වහන්සේ හඳුනා ගත නොහැකි විය.</verse>
				<verse number="17">උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “මේ ඔබ තර්ක කරමින් යන්නේ කුමන කාරණා ගැන දැ”යි ඇසූ සේක. ඔව්හු දුක්මුසු මුහුණින් යුක්ත ව නතර වූ හ.</verse>
				<verse number="18">ඔවුන්ගෙන් ක්ලේයෝපස් නම් තැනැත්තා උත්තර දෙමින්, “මේ දවස්වල ජෙරුසලමෙහි සිදුවූ කාරණා නොදැන සිටින අමුත්තා ඔබ පමණක් දැ”යි උන් වහන්සේට කී ය.</verse>
				<verse number="19">“කවර කාරණා දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ඔව්හු උත්තර දෙමින්, “නාසරෙත්හි ජේසුස් වහන්සේ පිළිබඳ කාරණා ය. උන් වහන්සේ දෙවියන් වහන්සේ හා සකල ජනතාව ඉදිරියෙහි ක්‍රියාවෙහි ද කතාවෙහි ද බලසම්පන්න දිවැසිවරයෙකු ව සිටි සේක.</verse>
				<verse number="20">නායක පූජකවරු ද අපගේ ප්‍රධානීහු ද උන් වහන්සේ මරණයට නියම කොට කුරුසියෙහි ඇණ ගැසූ හ.</verse>
				<verse number="21">එහෙත්, ඉශ්රායෙල් මුදාලීමට සිටි එක ම තැනැන් වහන්සේ උන් වහන්සේ ය යනු අපගේ බලාපොරොත්තුව විය. එපමණක් නොවේ. මේ දේ සිදුවී අදට තුන් දවසක් ගත වී ඇත.</verse>
				<verse number="22">තවද, අපේ කණ්ඩායමේ ඇතැම් ස්ත්‍රීහු අද හිමිදිරි උදයේ සොහොන් ගෙය ළඟට ගොස්,</verse>
				<verse number="23">උන් වහන්සේගේ සිරුර නොදැක අවුත්, ඔවුන්ට දර්ශනය වූ දේව දූතයන් ‘උන් වහන්සේ ජීවමාන ව සිටින සේකැ’යි පැවසූ බව කියා අප විස්මිත කළහ.</verse>
				<verse number="24">අප හා සමඟ සිටි අයගෙන් සමහරෙක් සොහොන් ගෙය ළඟට ගොස් ඒ ස්ත්‍රීන් කී ලෙස ම දුටුවෝ ය. එහෙත්, ඔව්හු උන් වහන්සේ නුදුටුවෝ ය”යි කී හ.</verse>
				<verse number="25">එවිට උන් වහන්සේ ඔවුන් අමතා, “බුද්ධිහීන වූ ද දිවැසිවරයන් පැවසූ සියල්ල විශ්වාස කිරීමට මැළි වූ ද තැනැත්තෙනි,</verse>
				<verse number="26">ක්‍රිස්තුන් වහන්සේ ඒ දුක් විඳ ඉක්බිති ස්වකීය තේජශ්‍රීයට පැමිණිය යුතු ව තිබුණා නොවේ ද” කියා,</verse>
				<verse number="27">මෝසෙස් හා සියලු දිවැසිවරයන්ගෙන් පටන්ගෙන, මුළු ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන සඳහන් කරුණු ඔවුන්ට පහදා දුන් සේක.</verse>
				<verse number="28">ඔව්හු යමින් සිටි ගමට ළං වූ හ. එහෙත් උන් වහන්සේ තවත් දුර යන බවක් දැක්වූ සේක.</verse>
				<verse number="29">එවිට ඔව්හු: “දවස ගෙවී සවස් වේගන එන බැවින්, අප සමඟ නතර වුව මැනවැ”යි උන් වහන්සේට පෙරැත්ත කළහ. උන් වහන්සේ ඔවුන් සමඟ නතර වීමට ගෙට ඇතුළු වූ සේක.</verse>
				<verse number="30">තවද උන් වහන්සේ ඔවුන් හා සමඟ කෑමට හිඳගත් කල්හි, රොටි ගෙන ආශීර්වාදය පවසා, කඩා ඔවුන්ට දුන් සේක.</verse>
				<verse number="31">එවිට ඔවුන්ගේ ඇස් ඇරී, ඔව්හු උන් වහන්සේ කවරෙක් දැ යි හැඳින ගත්හ. එවිට උන් වහන්සේ ඔවුන් කෙරෙන් අතුරුදහන් වූ සේක.</verse>
				<verse number="32">එකල ඔව්හු, “උන් වහන්සේ අප හා සමඟ මඟ දී කතා කරද්දීත්, ශුද්ධ ලියවිල්ල පහදා දෙද්දීත්, අපේ හදවත දැවී ඇවිළී ගියා නොවේ දැ”යි එකිනෙකාට කී හ.</verse>
				<verse number="33">ඔව්හු ඒ වේලේ ම නැඟිට ජෙරුසලමට පෙරළා ගොස්, එකොළොස් දෙනා ද ඔවුන් සමඟ සිටි අනෙක් අය ද,</verse>
				<verse number="34">“ඒකාන්තයෙන් ම සමිඳාණන් වහන්සේ නැඟිට සිටින සේක, සීමොන්ට ද පෙනුණු සේකැ”යි කියමින් සිටිනු දුටහ.</verse>
				<verse number="35">එවිට ඔව්හු ද මඟ දී තමන්ට සිදු වූ කාරණා සහ රොටි කැඩීමෙ‍හි දී ඔවුන්ට උන් වහන්සේ ප්‍රකාශ වූ හැටි ද පැවසූ හ.</verse>
				<verse number="36">ශ්‍රාවකයන් මෙ‍සේ කතා කරමින් සිටිය දී උන් වහන්සේ ඔවුන් මැදට වැඩම කර, “ඔබට ශාන්තිය වේ වා!”යි වදාළ සේක.</verse>
				<verse number="37">එහෙත් ඔව්හු ත්‍රස්ත ව භීතියට පත් ව, ඒ අවතාරයකැ යි සිතූ හ.</verse>
				<verse number="38">උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඔබ කැළඹී සිටින්නේ මන් ද? ඔබගේ සිත්වල සැක උපදින්නේත් මන් ද?</verse>
				<verse number="39">මාගේ අත් හා පා බලන්න; මේ මා ම බව තේරුම්ගන්න; මා ස්පර්ශ කොට, බලන්න; ඔබට පෙනෙන ලෙස ඇට මස් සහිත සිරුරක් මට ඇත. අවතාරයකට නම් ඒවා නැතැ”යි වදාළ සේක.</verse>
				<verse number="40">උන් වහන්සේ මෙ‍වදන් කියා, තම අත් හා පා ඔවුන්ට පෙන්වූ සේක.</verse>
				<verse number="41">ඔවුන් ප්‍රීතිය නිසා විශ්වාස නොකොට පුදුම වෙමින් සිටිය දී, උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “කෑමට යමක් මෙ‍හි ඔබ වෙත තිබේ දැ”යි ඇසූ සේක.</verse>
				<verse number="42">ඔව්හු බැදපු මාළු කෑල්ලක් උන් වහන්සේට පිළිගැන්වූ හ.</verse>
				<verse number="43">උන් වහන්සේ එය පිළිගෙන ඔවුන් ඉදිරිපිට දී වැළඳූ සේක.</verse>
				<verse number="44">තවද උන් වහන්සේ කතා කරමින්, “මා පිළිබඳ මෝසෙස්ගේ ව්‍යවස්ථාවලියෙහි ද දිවැසාවලියෙහි ද ගීතාවලියෙහි ද ලියා ඇති හැම දෙය ම ඉෂ්ට විය යුතු යයි මා ඔබ සමඟ සිටිය දී ඔබට පැවසූ වචනයෙහි තේරුම මේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="45">එවිට උන් වහන්සේ ශුද්ධ ලියවිල්ල ඔවුන්ට වැටහෙන පිණිස ඔවුන්ගේ සිත් පහදවා කතා කොට,</verse>
				<verse number="46">“මෙ‍සේ ක්‍රිස්තුන් වහන්සේ වද විඳින්ටත් තුන් වන දා මළවුන්ගෙන් නැඟිටින්ටත්,</verse>
				<verse number="47">ජෙරුසලමෙන් පටන්ගෙන සකල ලෝකවාසීන්ට පසුතැවී සිත් හරවා ගැනීම ද පව් කමාව ද, උන් වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරනු ලබන්නට ද යුතු ම යයි ලියා ඇත.</verse>
				<verse number="48">ඔබ මේ දේවලට සාක්ෂිකාරයෝ වන්නහු ය.</verse>
				<verse number="49">බලන්න, මම මාගේ පියාණන් වහන්සේගේ පොරොන්දුව ඔබ වෙත ගෙනෙමි. එහෙත්, ඉහළින් වන බලපරාක්‍රමයෙන් ඔබ හැම සන්නද්ධ කරනු ලබන තුරු නගරයෙහි නැවතී සිටින්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="50">උන් වහන්සේ බෙතානිය දක්වා, ඔවුන් කැඳවාගෙන ගොස්, තමන්ගේ අත් ඔසවා ඔවුන්ට ආශීර්වාද කළ සේක.</verse>
				<verse number="51">එසේ ආශීර්වාද කරද්දී ම, උන් වහන්සේ ඔවුන් කෙරෙන් වෙන් ව, ස්වර්ගයට ඔසවාගනු ලැබූ සේක.</verse>
				<verse number="52">ඔව්හු උන් වහන්සේට නමස්කාර කොට, ඉමහත් ප්‍රීතියකින් ජෙරුසලමට හැරී අවුත්,</verse>
				<verse number="53">නිරතුරු දේව මාලිගාවෙහි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් කල් ගත කළහ.</verse>
			</chapter>
		</book>
		<book number="43">
			<chapter number="1">
				<verse number="1">
					ආරම්භයේ දී, ධර්මයාණෝ සිටි සේක;
					ධර්මයාණෝ දෙවියන් වහන්සේ සමඟ සිටි සේක; ධර්මයාණෝ දෙවියන් වහන්සේ ව ම සිටි සේක.
				</verse>
				<verse number="2">ආරම්භයේ දී උන් වහන්සේ, දෙවියන් වහන්සේ සමඟ සිටි සේක.</verse>
				<verse number="3">සියල්ල උන් වහන්සේ කරණකොටගෙන මවන ලදී; උන් වහන්සේ නොමැති ව මවන ලද කිසිවක් නො වී ය.</verse>
				<verse number="4">උන් වහන්සේ තුළ ජීවය විය; ඒ ජීවය මනුෂ්‍යයන්ගේ ආලෝකය විය.</verse>
				<verse number="5">ආලෝකය අන්ධකාරයෙහි බබළයි; අන්ධකාරය කිසි කලෙක එය ග්‍රහණය නොකෙළේ ය.</verse>
				<verse number="6">දෙවියන් වහන්සේ එවා වදාළ මනුෂ්‍යයෙක් වී ය. ඔහුගේ නම ජොහන් ය.</verse>
				<verse number="7">ඔහු පැමිණියේ, තමා මඟින් සියලු දෙනා අදහාගනු පිණිස ආලෝකය ගැන සාක්ෂි දැරීමට, සාක්ෂිකරුවෙකු වශයෙනි.</verse>
				<verse number="8">ඔහු ඒ ආලෝකය නොව, ඒ ආලෝකය ගැන සාක්ෂි දරන පිණිස ආ තැනැත්තේ ය.</verse>
				<verse number="9">සියලු මනුෂ්‍යයන් ආලෝකවත් කරවන සත්‍ය ආලෝකයාණෝ, ලොවට උදා වෙමින් සිටි සේක.</verse>
				<verse number="10">උන් වහන්සේ ලෝකයෙහි සිටි සේක; ලෝකය ඇති වූයේ ද උන් වහන්සේ කරණකොටගෙන ය. එහෙත්, ලෝකයා උන් වහන්සේ හඳුනා නොගත්හ.</verse>
				<verse number="11">උන් වහන්සේ සිය දේශයට වැඩම කළ සේක, එහෙත්, ස්වකීය ජනතාව උන් වහන්සේ නොපිළිගත්හ.</verse>
				<verse number="12">එසේ වුව ද උන් වහන්සේ පිළිගත් සියල්ලන්ට එනම්, උන් වහන්සේගේ නාමය අදහාගත් අයට, දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස උපත ලැබීමේ වරම උන් වහන්සේ දෙවා වදාළ සේක.</verse>
				<verse number="13">එසේ උපත ලැබූයේ, මානව සන්තතියෙන් වත්, කායික සබඳතාවෙන් වත්, මිනිස් පියෙකුගෙන් වත් නොව, දෙවියන් වහන්සේගෙන් ම ය.</verse>
				<verse number="14">ධර්මයාණෝ මාංසගත ව අප සමඟ වැඩ විසූ සේක. දේව වරප්‍රසාදයෙන් ද සත්‍යයෙන් ද පූර්ණ උන් වහන්සේගේ තේජශ්‍රීය, එනම්, පියාණන් වහන්සේ කෙරෙන් වූ එක ම පුත්‍රයාණන්ගේ තේජශ්‍රීය, අපි දුටිමු.</verse>
				<verse number="15">ජොහන් උන් වහන්සේ ගැන සාක්ෂි දෙමින්, “මට පසුව එන තැනැන් වහන්සේ මට පෙර වූ බැවින්, මට වඩා උතුම් ය යි මා කීවේ මුන් වහන්සේ ගැන ය”යි මොරගසා කී ය.</verse>
				<verse number="16">උන් වහන්සේගේ පූර්ණතාවෙන් අපි සියල්ලෝ ම වරප්‍රසාද පිට වරප්‍රසාද ලැබීමු.</verse>
				<verse number="17">කුමක්හෙයින් ද, ව්‍යවස්ථාව මෝසෙස් මඟින් දෙන ලද්දේ ය; එහෙත් දේව වරප්‍රසාදය හා සත්‍යය ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් පැමිණියේ ය.</verse>
				<verse number="18">කිසිවෙකු කවදාවත් දෙවියන් වහන්සේ දුටුවේ නැත. පියාණන්ගේ ළයෙහි වැඩවසන, උන් වහන්සේගේ එක ම පුත්‍රයාණෝ ම උන් වහන්සේ ප්‍රකාශ කර වදාළ සේක.</verse>
				<verse number="19">“ඔබ කවරෙක් දැ”යි අසන පිණිස ජුදෙව්වරුන් විසින් ජෙරුසලමෙන් පූජකයන් ද ලෙවීයයන් ද යැවූ කල, ජොහන් සාක්ෂි දෙමින්,</verse>
				<verse number="20">“මම ක්‍රිස්තුස් නොවෙමි”යි නොසඟවා ම ප්‍රකාශ කෙළේ ය.</verse>
				<verse number="21">“එසේ නම් කිමෙක් ද? ඔබ එලියා දැ”යි ඔව්හු ඇසූ හ. “නැතැ”යි ඔහු කී ය. “ඔබ ඒ දිවැසිවරයා ද?” යන ප්‍රශ්නයටත්, “නැතැ”යි ඔහු කී ය.</verse>
				<verse number="22">“එසේ නම්, ඔබ කවරෙක් ද? අප එවූ අයට පිළිතුරක් දිය යුතු යි; ඔබ ගැන ම ඔබ කියන්නේ කිමෙක් දැ”යි ඔව්හු ඇසූ හ.</verse>
				<verse number="23">“මම නම්, යෙසායා දිවැසිවරයා කී පරිදි, ‘සමිඳාණන්ගේ මඟ පිළියෙළ කරන්නැ’යි පාළුකරයෙහි මොරගසන්නෙකුගේ හඬ වෙමි”යි ජොහන් පිළිතුරු දුනි.</verse>
				<verse number="24">එවන ලද සමහරෙක් පරිසිවරු ය.</verse>
				<verse number="25">ඔව්හු ප්‍රශ්න කරමින්, “ඉදින් ඔබ ක්‍රිස්තුස් වත්, එලියා වත්, ඒ දිවැසිවරයා වත් නොවන්නෙහි නම්, බව්තීස්ම-ස්නාපනය කරන්නේ කුමක් නිසා දැ”යි ඇසූ හ.</verse>
				<verse number="26">ජොහන් ද පිළිතුරු දෙමින්, “මම වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරමි; එහෙත්, ඔබ නාඳුනන කෙනෙක් ඔබ මැද වැඩ සිටිති.</verse>
				<verse number="27">එනම්, මට පසුව වඩින තැනැන් වහන්සේ ය; උන් වහන්සේගේ පාවහන් පටි මුදන්නට වත් මම නොවටිමි”යි කී ය.</verse>
				<verse number="28">මෙය සිදුවූයේ, ජොහන් බව්තීස්ම-ස්නාපනය කරමින් සිටි ජොර්දානෙන් එතෙර‍ බෙතානියේ දී ය.</verse>
				<verse number="29">පසු දින ජොහන් තෙමේ ජේසුස් වහන්සේ තමා සමීපයට වඩිනු දැක, “මෙන්න, ලෝකයේ පාපය දුරලන දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණෝ!</verse>
				<verse number="30">මට පසු ව එන තැනැන් වහන්සේ මට පෙර සිටි බැවින් මට වඩා උතුම් යයි යමෙකු ගැන මම කීවෙම් ද? ඒ මුන් වහන්සේ ය;</verse>
				<verse number="31">මම උන් වහන්සේ නොහැඳින සිටියෙමි; එහෙත්, වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරමින්, මා පැමිණියේ උන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ට ප්‍රකාශ වන පිණිස ය”යි කී ය.</verse>
				<verse number="32">තවද, ජොහන් සාක්ෂි දරමින්, “ආත්මයාණන් පරෙවියෙකු මෙන් අහසින් බැස උන් වහන්සේ මත වැඩ හිඳිනු මම දිටිමි;</verse>
				<verse number="33">මම උන් වහන්සේ නොහැඳින සිටියෙමි; එහෙත්, වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරන්නට මා එවා වදාළ තැනැන් වහන්සේ ම මට කතා කොට, ‘ආත්මයාණන් යමෙකු පිට බැස විත් වැඩ හිඳිනු ඔබ දකින්නෙහි ද, ඒ වනාහි ශුද්ධාත්මයාණන්ගෙන් බව්තීස්ම-ස්නාපනය කරන තැනැන් වහන්සේ ය’යි වදාළ සේක.</verse>
				<verse number="34">ඒ දේ මම ම දිටිමි; දැක, උන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි සාක්ෂි දැරුවෙමි”යි කීවේ ය.</verse>
				<verse number="35">පසු දින නැවතත් ජොහන් සිය ගෝලයන් දෙදෙනෙකු සමඟ සිටිය දී</verse>
				<verse number="36">මඟ වඩිනා ජේසුස් වහන්සේ දෙස බලා, “බලන්න, දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණෝ”යි කී ය.</verse>
				<verse number="37">ගෝලයෝ දෙදෙන ඔහු කී දේ අසා ජේසුස් වහන්සේ පසුපස ගියහ.</verse>
				<verse number="38">ජේසුස් වහන්සේ හැරී ඔවුන් තමන් පසුපස එනු දැක, “ඔබ කුමක් සොයන්නහු දැ”යි ඇසූ සේක. ඔව්හු ද, “රබ්බි, (එහි තේරුම ගුරුදේවයෙනි, යනු යි.) ඔබ වැඩ වසන්නේ කොතැන දැ”යි ඇසූ හ.</verse>
				<verse number="39">“ඇවිත් බලන්නැ”යි උන් වහන්සේ ඔවුන්ට වදාළ සේක. එසේ ඔව්හු අවුත් උන් වහන්සේ වැඩ වසන ස්ථානය දැක, එදින උන් වහන්සේ සමඟ ගත කළහ. වේලාව සවස හතරට පමණ වී ය.</verse>
				<verse number="40">ජොහන්ගේ කීම අසා උන් වහන්සේ පසුපස ගිය දෙදෙනාගෙන් එක් තැනැත්තෙක් නම්, සීමොන් පේදුරුගේ සොහොයුරු ඇන්ඩෘ ය.</verse>
				<verse number="41">ඔහු පළමුවෙන් තම සොහොයුරා මුණගැසී, “අපට මෙසියස් වහන්සේ හමු වූ හ”යි කී ය. (‘මෙසියස්’ යන්නෙහි අර්ථය ‘ක්‍රිස්තුස්’ යනු යි.)</verse>
				<verse number="42">ඔහු ජේසුස් වහන්සේ වෙත සීමොන් කැඳවාගෙන ආවේ ය. ජේසුස් වහන්සේ ඔහු දෙස බලා, “ඔබ ජොහන්ගේ පුත් සීමොන් ය; ඔබට ‘කේපස්’ යයි කියනු ඇතැ”යි වදාළ සේක. (‘කේපස්’ යන්නෙහි අර්ථය ‘පර්වතය’ යනු යි.)</verse>
				<verse number="43">පසු දින ජේසුස් වහන්සේ ගලීලයට යන්නට ඉටාගත් සේක. එහි දී පිලිප් හමු වී, “මා අනුගාමී වන්නැ”යි ඔහුට වදාළ සේක.</verse>
				<verse number="44">පිලිප් වනාහි ඇන්ඩෘගේ සහ පේදුරුගේ ගම වූ බෙත්සයිදාවෙන් ආ තැනැත්තෙකි.</verse>
				<verse number="45">පිලිප් ද නතානියෙල් සොයා ගෙන, “මෝසෙස් ව්‍යවස්ථාවලියෙහි හා දිවැසාවලියෙහි සඳහන් කර ඇති තැනැන් වහන්සේ, එනම්, ජෝසෙප්ගේ පුත් නාසරෙත්හි ජේසුස් වහන්සේ අපට හමු වූ සේකැ”යි කී ය.</verse>
				<verse number="46">නතානියෙල් ද කතා කරමින්, “වැදගැම්මක් ඇති කිසිවක් නාසරෙතින් නික්මේ දැ”යි ඇසී ය. “ඇවිත් බලන්නැ”යි පිලිප් කී ය.</verse>
				<verse number="47">ජේසුස් වහන්සේ නතානියෙල් තමන් වෙත එනු දැක, “මෙන්න, හොරබොරු නැති, සැබෑ ඉශ්රායෙල් ජාතිකයෙකැ”යි ඔහු ගැන වදාළ සේක.</verse>
				<verse number="48">“ඔබ මා ගැන කෙසේ දන්නෙහි දැ”යි නතානියෙල් උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “පිලිප් ඔබ කැඳවන්නටත් පෙර, අත්තික්කා ගස යට ඔබ සිටිනු මම දිටිමි”යි වදාළ සේක.</verse>
				<verse number="49">නතානියෙල් උත්තර දෙමින්, “ගුරුදේවයෙනි, ඔබ වහන්සේ නම්, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය; ඔබ වහන්සේ නම්, ඉශ්රායෙල්හි රජිඳාණෝ ය”යි කී ය.</verse>
				<verse number="50">ජේසුස් වහන්සේ ද පිළිතුරු දෙමින්, “ඔබ අත්තික්කා ගස යට සිටිනු මම දිටිමි, යි මා ඔබට වදාළ බැවින් ද, ඔබ අදහා ගත්තේ? මීට වඩා මහත් දේ ඔබ දකින්නෙහි ය”යි වදාළ සේක.</verse>
				<verse number="51">තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, “ඒකාන්තයෙන් මම ඔබට කියමි; ස්වර්ගය විවර වී, මනුෂ්‍ය-පුත්‍රයාණන් වෙත දෙවියන් වහන්සේගේ දූතයන් නැඟ යනවාත්, බැස එනවාත් ඔබ දකින්නෙහි ය”යි වදාළ සේක.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">තුන් වන දවසෙහි, ගලීලයේ කානාහි විවාහ මංගල්‍යයක් විය; ජේසුස් වහන්සේගේ මෑණියෝ ද එහි සිටියහ.</verse>
				<verse number="2">සිය ශ්‍රාවකයන් සමඟ ජේසුස් වහන්සේ ද මංගල්‍යයට කැඳවනු ලැබූ සේක.</verse>
				<verse number="3">මිදියුස හිඟ වූ විට, ජේසුස් වහන්සේගේ මෑණියෝ, “මිදියුස නැතැ”යි උන් වහන්සේට කී හ.</verse>
				<verse number="4">ජේසුස් වහන්සේ ද කතා කොට, “ස්ත්‍රිය, ඔබත් මාත් මේ ගැන කරදර වෙන්නේ කුමට ද? මාගේ මොහොත තව ම පැමිණ නැතැ”යි වදාළ සේක.</verse>
				<verse number="5">උන් වහන්සේගේ මෑණියෝ මෙහෙකරුවන් අමතා, ‘මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වුව ද කරන්නැ’යි කී හ.</verse>
				<verse number="6">ජුදෙව්වරුන්ගේ පවිත්‍ර වීමේ වත්පිළිවෙත් සඳහා ලීටර් සියයක් පමණ අල්ලන ගල් භාජන සයක් එහි තබා තිබිණි.</verse>
				<verse number="7">“භාජනවලට වතුර පුරවන්නැ”යි ජේසුස් වහන්සේ සේවකයන්ට වදාළ සේක. ඔව්හු ද ඒවා ගැටිය දක්වා ම පිරෙව්වෝ ය.</verse>
				<verse number="8">“දැන් මෙයින් ටිකක් සංවිධායක තැන වෙත ගෙන යන්නැ”යි උන් වහන්සේ ඔවුන්ට වදාළ සේක. ඔව්හු එය ගෙන ගියහ.</verse>
				<verse number="9">සංවිධායක තැන මිදියුස බවට හැරුණු වතුර ගෙන රස බැලී ය. එය කෙසේ ලැබිණි දැ යි වතුර ගෙනා සේවකයන් දැන සිටි නමුත්, ඔහු නොදත්තේ ය. එබැවින් ඔහු මනාලයා කැඳවා,</verse>
				<verse number="10">“හැම කෙනෙක් ම පළමුකොට හොඳ මිදියුසයෙන් සංග්‍රහ කරති; කවුරුනුත් සෑහෙන තරමට පානය කළ පසු බාල මිදියුසයෙන් සංග්‍රහ කරති. එහෙත්, ඔබ මේ වන තුරු හොඳ මිදියුස තබාගෙන සිටියෙහි ය”යි ඔහුට කී ය.</verse>
				<verse number="11">මේ වනාහි ජේසුස් වහන්සේ ලකුණක් පිණිස කළ හාස්කම්වලින් පළමු වැන්න ය. එය සිදු කරන ලද්දේ ගලීලයේ කානාහි දී ය. එසේ කිරීමෙන් උන් වහන්සේ සිය තේජශ්‍රීය ප්‍රකාශ කළ සේක; ශ්‍රාවකයෝ ද උන් වහන්සේ අදහාගත්හ.</verse>
				<verse number="12">ඉන්පසු උන් වහන්සේ සිය මෑණියන් ද සොහොයුරන් ද ශ්‍රාවකයන් ද සමඟ කපර්ණවුමට වැඩිය සේක; එහෙත්, ඔව්හු එහි වැඩි කලක් නොසිටියහ.</verse>
				<verse number="13">ජුදෙව්වරුන්ගේ පාස්කු මංගල්‍යය ආසන්න ව තිබුණු බැවින්, ජේසුස් වහන්සේ ජෙරුසලමට වැඩම කළ සේක.</verse>
				<verse number="14">එවිට, දේව මාලිගාවේ ගව, බැටළු හා පරෙවි වෙළෙන්දන් ද මුදල් මාරු කරන්නන් ද ගනුදෙනුවෙහි යෙදී හිඳිනු උන් වහන්සේ දැක,</verse>
				<verse number="15">ලණුවලින් කසයක් සාදාගෙන ගවයන් හා බැටළුවන් හා සියල්ලන් දේව මාලිගාවෙන් පිටතට පලවා හැර, මුදල් මාරු කරන්නන්ගේ කාසි විසුරුවා ඔවුන්ගේ මේස පෙරළා දැමූ සේක.</verse>
				<verse number="16">ඉන්පසු උන් වහන්සේ පරෙවි වෙළෙඳුන් අමතා, “මේවා අහකට ගෙන යන්න; මාගේ පියාණන්ගේ ගෘහය වෙළඳ පොළක් නො කරන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="17">“ඔබගේ ගෘහයට ඇති උද්‍යෝගයෙන් මම දැවෙමි”යි ලියා තිබෙන බව එවිට ශ්‍රාවකයන්ට මතක් විය.</verse>
				<verse number="18">එකල ජුදෙව්වරු, “ඔබ මේ දේවල් කරන බැවින් ලකුණක් පිණිස කුමන හාස්කමක් අපට දක්වන්නෙහි දැ”යි ඇසූ හ.</verse>
				<verse number="19">ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මේ දේව මාලිගාව කඩාදමන්න. තෙදිනකින් එය මම ගොඩනඟන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="20">එවිට ජුදෙව්වරු කතා කොට, “මේ දේව මාලිගාව ගොඩනඟන්නට හතළිස් හය වසක් ගත විය. ඔබ එය තෙදිනකින් ගොඩනඟන්නෙහි දැ”යි ඇසූ හ.</verse>
				<verse number="21">එහෙත්, උන් වහන්සේ කතා කෙළේ, තමන්ගේ ශරීරය නමැති දේව මාලිගාව ගැන ය.</verse>
				<verse number="22">උන් වහන්සේ මරණින් නැඟිටුවනු ලැබූ පසු, ශ්‍රාවකයෝ, උන් වහන්සේ මේ දේ කී බව සිහි කොට ශුද්ධ ලියවිල්ල ද උන් වහන්සේගේ වචනය ද විශ්වාස කළහ.</verse>
				<verse number="23">උන් වහන්සේ පාස්කු මංගල්‍යයේ දී ජෙරුසලමෙහි සිටි කල්හි, බොහෝ දෙනෙක් උන් වහන්සේ කළ හාස්කම් දැක, උන් වහන්සේ අදහාගත්හ.</verse>
				<verse number="24">එහෙත්, ජේසුස් වහන්සේ ඔවුන් කෙරෙහි විශ්වාසය නොතැබූ සේක. මන්ද, උන් වහන්සේ සියල්ල දත් නිසා ය.</verse>
				<verse number="25">මිනිස් සිතෙහි ඇති දෙය උන් වහන්සේ දැන සිටි බැවින්, මනුෂ්‍යයා ගැන කිසිවෙකුගේ සාක්ෂියක් උන් වහන්සේට අවශ්‍ය නො වී ය.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">එකල පරිසිවරුන්ගෙන් කෙනෙක් වූ ද, ජුදෙව්වරුන්ගේ ප්‍රධානියෙක් වූ ද, නිකොදේමුස් නම් මිනිසෙක් විය.</verse>
				<verse number="2">ඔහු එක් රැයක උන් වහන්සේ වෙත අවුත්, “ගුරුදේවයෙනි, ඔබ දෙවියන් වහන්සේ වෙතින් වැඩම කළ ගුරුවරයෙකැ යි අපි දනිමු; මන්ද, දෙවියන් වහන්සේ තමා සමඟ වැඩ නොසිටින සේක් නම්, කිසිවෙකුට ඔබ කරන මේ හාස්කම් කළ නොහැකි ය”යි කී ය.</verse>
				<verse number="3">ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒකාන්තයෙන් මම ඔබට කියමි; යමෙක් නැවත නූපන්නොත්, ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යය දැකගත නොහැකි ය”යි ඔහුට වදාළ සේක.</verse>
				<verse number="4">නිකොදේමුස්, කතා කරමින්, “මනුෂ්‍යයෙකු මහලු ව සිටිය දී, උපදින්නට පුළුවන් කොහොම ද? දෙ වන වරටත් මවු කුසට පිවිස උපත ලැබිය හැකි දැ”යි ඇසී ය.</verse>
				<verse number="5">ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒකාන්තයෙන් මම ඔබට කියමි; යමෙකු වතුරෙන් ද ආත්මයාණන්ගෙන් ද නූපන්නොත්, ඔහුට ස්වර්ග රාජ්‍යයට පිවිසිය නොහැකි ය.</verse>
				<verse number="6">කයින් උපදින දේ කායික ය; ආත්මයාණන්ගෙන් උපදින දේ ආත්මික ය;</verse>
				<verse number="7">‘ඔබ නැවත උපදින්නට ඕනෑ ය’යි මා කීවාට පුදුම නොවන්න.</verse>
				<verse number="8">සුළඟ සිතු සිතූ තැන් වල හමයි; එහි ශබ්දය ඔබට ඇසෙයි. එහෙත්, එය කොතැනින් එන්නේ ද කොතැනට යන්නේ දැ යි ඔබ නොදන්නහු ය. ආත්මයාණන්ගෙන් ජනිත වූ හැම කෙනෙකුන් ද එසේ ම ය”යි වදාළ සේක.</verse>
				<verse number="9">“මේ දේ සිදුවිය හැක්කේ කෙසේ දැ”යි නිකොදේමුස් පිළිවිසී ය.</verse>
				<verse number="10">ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ ඉශ්රායෙල්හි කීර්තිමත් ගුරුවරයකු ව සිටියදීත් මේ දේ ඔබට තේරුම් ගත නොහැකි ද?</verse>
				<verse number="11">ඒකාන්තයෙන් මම ඔබට කියමි; අපි දන්නා දේ කියමු, දුටු දේ ගැන සාක්ෂි දරමු. එහෙත්, අපේ සාක්ෂිය ඔබ නොපිළිගන්නෙහු ය.</verse>
				<verse number="12">මා ඔබට ලෞකික දේ ගැන කී කල්හි ඔබ විශ්වාස නොකරන්නෙහි නම්, ලෝකෝත්තර දේ ප්‍රකාශ කළහොත් කෙසේ විශ්වාස කරන්නෙහි ද?</verse>
				<verse number="13">ස්වර්ගයෙන් බැස වදාළ මනුෂ්‍ය-පුත්‍රයාණන් හැර, අන් කිසිවෙක් ස්වර්ගයට නොනැංගේ ය.</verse>
				<verse number="14">පාළුකරයෙහි දී මෝසෙස් සර්පයා එසවූ ලෙස ම මනුෂ්‍ය-පුත්‍රයාණන් ද,</verse>
				<verse number="15">උන් වහන්සේ කෙරෙහි අදහාගන්නා සෑම දෙන ම සදාතන ජීවනය ලබන පිණිස, ඔසවනු ලබන්නට ඕනෑ ය.”</verse>
				<verse number="16">“දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක. එසේ කෙළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිස ය.</verse>
				<verse number="17">දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලොවට එවා වදාළේ, ලෝකයා විනිශ්චය කරන පිණිස නොව, උන් වහන්සේ කරණකොටගෙන ලෝකයා ගළවනු ලබන පිණිස ය.</verse>
				<verse number="18">උන් වහන්සේ අදහාගන්නා විනිශ්චය කරනු නො ලැබේ. අදහා නොගන්නා දෙවියන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන් අදහා නොගන්නා බැවින් දැනට ම විනිශ්චය ලබා ඇත.</verse>
				<verse number="19">“විනිශ්චය නම් මේ ය: ලෝකයට ආලෝකය පැමිණ තිබේ; එහෙත්, තමන්ගේ ක්‍රියා නපුරු බැවින් මනුෂ්‍යයෝ ආලෝකයට වඩා අන්ධකාරයට ප්‍රිය කළහ.</verse>
				<verse number="20">නපුරු ක්‍රියා කරන හැම දෙන ම ආලෝකයට ද්වේෂ කරති; ඔවුන්ගේ ක්‍රියා එළි වන බැවින් ඔව්හු ආලෝකයට නොපැමිණෙති.</verse>
				<verse number="21">එහෙත්, සත්‍ය දේ කරන තැනැත්තා තමාගේ ක්‍රියා දෙවියන් වහන්සේට කීකරු ව කරන ලද බව පෙනෙන පිණිස ආලෝකයට පැමිණේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="22">ඉන්පසු ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් කැටුව ජුදා දේශයට පැමිණි සේක. එහි උන් වහන්සේ ඔවුන් සමඟ නැවතී සිට බව්තීස්ම-ස්නාපනය කළ සේක.</verse>
				<verse number="23">ජොහන් ද සාලිම් සමීපයෙහි ඒනොන් යන ස්ථානයෙහි ජලය අධික ව තිබුණු බැවින් බව්තීස්ම-ස්නාපනය කරමින් සිටියේ ය. මිනිස්සු පැමිණ බව්තීස්ම-ස්නාපනය ලැබූ හ.</verse>
				<verse number="24">මෙය සිදු වූයේ ජොහන් හිර අඩස්සි කරනු ලැබීමට පෙර ය.</verse>
				<verse number="25">එකල ජොහන්ගේ ගෝලයන් හා ජුදෙව්වෙකු අතර පවිත්‍ර වීම ගැන වාදයක් හටගති.</verse>
				<verse number="26">එවිට ඔව්හු ජොහන් වෙතට පැමිණ, “ඇදුරිඳුනි, ජොර්දානෙන් එගොඩ ඔබ සමඟ සිටියාවූ ද ඔබ විසින් සාක්ෂි දරනු ලැබුවාවූ ද තැනැත්තේ ම බව්තීස්ම-ස්නාපනය කරයි. සියල්ලෝ ම ඔහු වෙතට යති”යි කී හ.</verse>
				<verse number="27">ජොහන් පිළිතුරු දෙමින් මෙසේ කී ය: “ස්වර්ගයෙන් දෙන ලද දෙයක් මිස අන් කිසිවක් මිනිසෙකුට ලැබිය නො හැකි ය.</verse>
				<verse number="28">මම ක්‍රිස්තුස් නොවෙමි; එහෙත්, ‘මම උන් වහන්සේට ප්‍රථමයෙන් එවන ලද්දෙමි’යි මා කී බවට ඔබ ම සාක්ෂිකාරයෝ ය.</verse>
				<verse number="29">මනාලිය අයිති මනාලයාට ය, මනාලයා ළඟ සිට සවන් දෙන ඔහුගේ මිත්‍රයා, මනාලයාගේ කටහඬ අසා අතිශයින් ප්‍රමුදිත වෙයි. මේ මාගේ ප්‍රීතිය පිරී ඇත්තේ එබැවිනි.</verse>
				<verse number="30">උන් වහන්සේගේ නැඟීමත්, මාගේ බැසීමත් සිදුවිය යුතු ය.”</verse>
				<verse number="31">“ඉහළින් වඩිනා තැනැත්තේ සියල්ලනට වඩා උතුම් ය. භූමියෙන් වන තැනැත්තේ භූමියට අයිති වේ; ඔහු භෞමික දේ ගැන කතා කරයි. ස්වර්ගයෙන් එන තැනැන් වහන්සේ සියල්ලනට ම වඩා උතුම් ය;</verse>
				<verse number="32">උන් වහන්සේ තමන් ඇසූ දුටු දේ ගැන සාක්ෂි දරන සේක. එහෙත්, කිසිවෙක් උන් වහන්සේගේ සාක්ෂිය නොපිළිගනිති.</verse>
				<verse number="33">උන් වහන්සේගේ සාක්ෂිය පිළිගන්නා තැනැත්තේ දෙවියන් වහන්සේ සත්‍යවාදි බව සහතික කරයි.</verse>
				<verse number="34">දෙවියන් වහන්සේ එවා වදාළ තැනැන් වහන්සේ, දෙවියන් වහන්සේගේ වදන් පවසන සේක. එසේ වන්නේ දෙවියන් වහන්සේ ශුද්ධාත්මය සීමා රහිත ව දානය කරන බැවිනි.</verse>
				<verse number="35">පියාණන් වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරන සේක. සියල්ල උන් වහන්සේ අතට භාර දී ඇත.</verse>
				<verse number="36">යමෙක් පුත්‍රයාණන් අදහන්නේ ද ඔහුට සදාතන ජීවනය ඇත. එහෙත් යමෙක් පුත්‍රයාණන් ප්‍රතික්ෂේප කරන්නේ ද ඔහුට ජීවනය නොලැබේ. දේව උදහස ඔහු පිට රඳා පවති යි.”</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">ජේසුස් වහන්සේ ජොහන්ට වඩා ශ්‍රාවකයන් බඳවාගෙන බව්තීස්ම-ස්නාපනය කරති යි පරිසිවරුන්ට සැළ විය.</verse>
				<verse number="2">(ඇත්ත වශයෙන් උන් වහන්සේගේ ශ්‍රාවකයන් මිස, උන් වහන්සේ ම බව්තීස්ම-ස්නාපනය නොකළ සේක.)</verse>
				<verse number="3">ඒ බව දැනගත් කල, සමිඳාණන් වහන්සේ ජුදයෙන් පිට වී යළිත් ගලීලයට වැඩම කළ සේක.</verse>
				<verse number="4">සමාරිය පසු කොට යා යුතු ව තිබුණු බැවින්</verse>
				<verse number="5">උන් වහන්සේ, ජාකොබ් තම පුත් ජෝසෙප්ට දුන් ඉඩම ළඟ වූ සිකාර් නම් සමාරියේ නගරයකට පැමිණි සේක.</verse>
				<verse number="6">ජාකොබ්ගේ ළිඳ එහි විය. ගමන් විඩාවෙන් සිටි උන් වහන්සේ ළිඳ ළඟ හිඳගත් සේක. එය මධ්‍යාහ්න වේලාව පමණ විය.</verse>
				<verse number="7">එකල, සමාරීය ස්ත්‍රියක් වතුර අදිනු පිණිස පැමිණියා ය. “මට වතුර ටිකක් දෙන්නැ”යි උන් වහන්සේ ඇයට වදාළ සේක.</verse>
				<verse number="8">එවේලේ, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කෑම මිලයට ගනු පිණිස, නගරයට ගොස් සිටියෝ ය.</verse>
				<verse number="9">සමාරීය ස්ත්‍රිය ද, “ජුදෙව්වෙකු වන ඔබ, සමාරීය ස්ත්‍රියක වන මගෙන් බොන්නට ඉල්ලන්නේ, කෙසේ දැ”යි උන් වහන්සේගෙන් ඇසුවා ය. එසේ කීවේ, ජුදෙව්වරුන් හා සමාරියයන් අතර ගනුදෙනුවක් නුවූ බැවිනි.</verse>
				<verse number="10">ජේසුස් වහන්සේ ඇයට පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේගේ දීමනාවත්, ‘මට වතුර ටිකක් දෙන්නැ’යි ඔබට කියන්නේ කවරෙක් ද කියාත් ඔබ දැන සිටියෙහි නම්, ඔබ ඔහුගෙන් ඉල්ලනු ඇත; එවිට ඔහු ජීවන ජලය ඔබට දෙනු ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="11">ස්ත්‍රිය ද, “මහතාණෙනි, වතුර අදින්නට ඔබට භාජනයක් නැත; ළිඳත් ගැඹුරු ය; එබැවින් ඒ ජීවන ජලය ඔබට කොයින් ද?</verse>
				<verse number="12">මේ ළිඳ අපට දුන්නේ අපේ පියා වන ජාකොබ් ය. ඔහු ද, ඔහුගේ පුත්‍රයෝ ද ගවයෝ ද මෙයින් පානය කළෝ ය. ඔබ ඔහුට වඩා උතුම් දැ?”යි විචාළා ය.</verse>
				<verse number="13">ජේසුස් වහන්සේ ඇයට පිළිතුරු දෙමින්, “මේ වතුර බොන හැම කෙනෙකුට ම නැවත පිපාසය ඇති වන්නේ ය.</verse>
				<verse number="14">එහෙත් මා දෙන වතුර බොන කවර කෙනෙකුට වුවත් කිසි කලෙක පිපාසය ඇති නොවන්නේ ය. මා ඔහුට දෙන වතුර සදාතන ජීවනය පිණිස ඔහු තුළ දිය උල්පතක් වන්නේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="15">ස්ත්‍රිය කතා කරමින්, “මහතාණෙනි, මට තවත් පිපාසය ඇති නො වන පිණිසත්, වතුර ඇදීමට මෙපමණ දුර නැවත නොඑන පිණිසත් ඒ වතුර මට දුන මැනවැ”යි කීවා ය.</verse>
				<verse number="16">ජේසුස් වහන්සේ ඈ අමතා, “යන්න, ඔබේ ස්වාමි පුරුෂයා කැඳවාගෙන මෙහි එන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="17">ස්ත්‍රිය පිළිතුරු දෙමින්, “මට ස්වාමි පුරුෂයෙක් නැතැ”යි කීවා ය. ජේසුස් වහන්සේ ද, “ ‘මට ස්වාමි පුරුෂයෙක් නැතැ’යි ඔබ කීවා හරි ය;</verse>
				<verse number="18">මන්ද, ඔබට පුරුෂයෝ පස් දෙනෙක් සිටියාහ; දැන් සිටින තැනැත්තේ ඔබේ පුරුෂයා නො වේ; මේ දේ ඔබ සැබෑ ලෙස පැවසුවෙහි ය”යි වදාළ සේක.</verse>
				<verse number="19">ස්ත්‍රිය උන් වහන්සේ අමතමින්, “මහතාණෙනි, ඔබ දිවැසිවරයකු බව මට පෙනේ; අපේ පියවරු මේ කන්ද මත නමස්කාර කළහ.</verse>
				<verse number="20">එහෙත්, මිනිසුන් නමස්කාර කළ යුතු ජෙරුසලමෙහි ය යි ඔබතුමන්ලා කියන්නහු ය”යි කීවා ය.</verse>
				<verse number="21">ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ස්ත්‍රිය, මා විශ්වාස කරන්න. මේ කන්දේ දී වත්, ජෙරුසලමේ දී වත් ඔබ පියාණන් වහන්සේට නමස්කාර නොකරන කාලයක් පැමිණෙන්නේ ය.</verse>
				<verse number="22">ඔබ නමස්කාර කරන්නේ ඔබ හරියට ම නො දන්නා කෙනෙකුට ය; අප නමස්කාර කරන්නේ අප දන්නා කෙනෙකුට ය. මන්ද, ගැළවීම පැමිණෙන්නේ ජුදෙව්වරුන්ගෙන් ය.</verse>
				<verse number="23">එහෙත්, නමස්කාර කරන්නන්, ආත්මානුභාවයෙන් ද අවංක සිතින් ද, පියාණන් වහන්සේට නමස්කාර කරන කාලයක් සැබැවින් ම පැමිණෙන්නේ ය; දැනටමත් පැමිණ ඇත. තමන් වහන්සේට නමදින පිණිස පියාණන් වහන්සේ සොයන්නේ එවැන්නන් ය.</verse>
				<verse number="24">දෙවියන් වහන්සේ ආත්මය ය; උන් වහන්සේට නමස්කාර කරන්නන් ආත්මයෙන් ද අවංක සිතින් ද නමස්කාර කළ යුතු ය”යි වදාළ සේක.</verse>
				<verse number="25">ස්ත්‍රිය පිළිතුරු දෙමින්; “ ‘ක්‍රිස්තුස් වහන්සේ’ ය යි කියන මෙසියස් තුමාණන් එන බව දනිමි; උන් වහන්සේ පැමිණි කල සියල්ල අපට දන්වා වදාරන සේකැ”යි කීවා ය.</verse>
				<verse number="26">“මේ ඔබ සමඟ කතා කරන මම, ඒ තැනැත්තා වෙමි”යි ජේසුස් වහන්සේ වදාළ සේක.</verse>
				<verse number="27">ඒ මොහොතේ දී, පැමිණි උන් වහන්සේගේ ශ්‍රාවකයෝ උන් වහන්සේ ස්ත්‍රියක සමඟ කතා කරනු දැක මවිත වූ හ. එහෙත් කිසිවෙක්, “ඔබ කුමක් සොයන්නෙහි ද” කියාවත්, “ඔබ ඈ සමඟ කතා කරන්නේ මන් ද?” කියාවත් ඇසුවේ නැත.</verse>
				<verse number="28">ස්ත්‍රිය ඇගේ වතුර කළය එතැන තබා, නුවරට ගොස්,</verse>
				<verse number="29">“එන්න ඇවිත් බලන්න, මා කළ සියල්ල මට කී මනුෂ්‍යයෙක් සිටියි. එතුමා ක්‍රිස්තුස් විය නොහැකි දැ”යි සෙනඟට කීවා ය.</verse>
				<verse number="30">ඔව්හු නුවරින් නික්ම ජේසුස් වහන්සේ වෙත එන්නට පටන්ගත්හ.</verse>
				<verse number="31">ඒ අතර ශ්‍රාවකයෝ, “ගුරුදේවයෙනි, වළඳනු මැනවැ”යි උන් වහන්සේගෙන් අයැද සිටියෝ ය.</verse>
				<verse number="32">එහෙත් උන් වහන්සේ, “ඔබ නො දන්නා භෝජනයක් වැළඳීමට මට ඇතැ”යි ඔවුන්ට වදාළ සේක.</verse>
				<verse number="33">“යම් කිසිවෙක් උන් වහන්සේට ආහාර ගෙනවුත් දුන්නේ දැ”යි එවිට ශ්‍රාවකයෝ තම තමන් අතරේ විමසූ හ.</verse>
				<verse number="34">ජේසුස් වහන්සේ ඔවුන් අමතා, “මාගේ භෝජනය නම්, මා එවූ තැනැන් වහන්සේගේ කැමැත්ත කිරීමත්, උන් වහන්සේගේ කාර්යය නිමාවට පත් කිරීමත් ය.</verse>
				<verse number="35">“තව හාරමාසයක් ගත වූ විට අස්වැන්න පැමිණේ යයි ඔබ කියන්නේ නැද් ද? එහෙත් මම ඔබට කියමි: බලන්න, ඔබේ ඇස් ඇර කුඹුරු නරඹන්න; මන් ද? ඒවා දැනට ම අස්වැන්න සඳහා පැසී ඇත.</verse>
				<verse number="36">ගොයම් කපන්නා කුලිය ලබා, සදාතන ජීවනය සඳහා අස්වැන්න එකතු කරයි; එසේ වන්නේ, වපුරන්නාත්, කපන්නාත් එක්ව ප්‍රීතිමත් වන පිණිස ය.</verse>
				<verse number="37">මෙයින්, ‘එක් කෙනෙක් වපුරයි, තව කෙනෙක් කපයි’ යන කීම සැබෑ වෙයි.</verse>
				<verse number="38">ඔබ වගා නො කළ කෙතක අස්වැන්න කැපීමට මම ඔබ යැවීමි. අන්‍යයෝ වගා කළහ. ඔබ ඔවුන්ගේ වගාවේ ප්‍රතිඵල භුක්ති විඳින්නහු ය”යි වදාළ සේක.</verse>
				<verse number="39">“මා කළ සියල්ල උන් වහන්සේ මට වදාළ සේකැ”යි සාක්ෂි දුන් ස්ත්‍රියගේ කීම නිසා, ඒ නුවර සමාරියයන්ගෙන් බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගත්හ.</verse>
				<verse number="40">එබැවින් සමාරියයෝ උන් වහන්සේ වෙතට පැමිණි කල, තමන් සමඟ නවතින ලෙස උන් වහන්සේගෙන් ඉල්ලූ හ. උන් වහන්සේ ද දෙදවසක් එහි නැවතුණ සේක.</verse>
				<verse number="41">තවත් බොහෝ දෙනෙක් උන් වහන්සේගේ ම වචනය නිසා අදහාගත්තෝ ය.</verse>
				<verse number="42">ඔව්හු ස්ත්‍රියට කතා කොට, “දැන් අප අදහන්නේ ඔබේ කීම නිසා නොවේ; අප ම උන් වහන්සේගේ බස් අසා, උන් වහන්සේ සැබැවින් ම ලෝකයේ ගැළවුම්කාරයාණන් බව දැනගත් නිසා ය”යි කී හ.</verse>
				<verse number="43">ඒ දෙදවසට පසු, උන් වහන්සේ එතැනින් නික්ම ගලීලයට වැඩම කළ සේක.</verse>
				<verse number="44">මන්ද, “ගමේ දිවැසිවරයා ගමට අගේ නැතැ”යි කීවේ උන් වහන්සේ ම ය.</verse>
				<verse number="45">එහෙත් ජෙරුසලමෙහි මංගල්‍යයේ දී උන් වහන්සේ කළ සියල්ල දුටු බැවින්, ගලීලයෝ උන් වහන්සේ උත්සවාකාරයෙන් හොඳින් පිළිගත්හ.</verse>
				<verse number="46">යළිත් උන් වහන්සේ ගලීලයේ කානා නම් ගමට වැඩම කළ සේක. උන් වහන්සේ විසින් වතුර මිදියුස බවට හරවන ලද්දේ එහි දී ය. එකල, එහි එක්තරා රාජ්‍ය නිලධාරියෙක් විය. ඔහුගේ පුත්‍රයා රෝගාතුර ව කපර්ණවුමෙහි සිටියේ ය.</verse>
				<verse number="47">ජේසුස් වහන්සේ ජුදයේ සිට ගලීලයට වැඩම කළ බව අසා, ඔහු උන් වහන්සේ වෙතට ගොස්, තම පුත්‍රයා මරණාසන්න ව සිටින බැවින්, අවුත් ඔහු සුව කරන මෙන් උන් වහන්සේගෙන් අයැද සිටියේ ය.</verse>
				<verse number="48">ජේසුස් වහන්සේ, “ඔබ ලකුණු ද අරුමපුදුම දේ ද දුටුවොත් මිස විශ්වාස නො කරන්නාහු ය”යි ඔහුට වදාළ සේක.</verse>
				<verse number="49">රාජ්‍ය නිලධාරියා ද, “මහතාණෙනි, මාගේ දරුවා මියයන්නට පෙර වැඩිය මැනවැ”යි අයැදී ය.</verse>
				<verse number="50">ජේසුස් වහන්සේ කතා කරමින්, “යන්න, ඔබගේ පුත්‍රයා ජීවත් වන්නේ ය”යි ඔහුට වදාළ සේක. ඒ තැනැත්තා ජේසුස් වහන්සේ වදාළ වචනය විශ්වාස කරගෙන ගියේ ය.</verse>
				<verse number="51">ඔහු යන කල, ඔහුගේ දාසයෝ පෙරමඟට අවුදින්, “ඔබගේ පුත්‍රයා ජීවත් වන්නේ ය”යි කී හ.</verse>
				<verse number="52">එවිට, “පුත්‍රයා සුවය ලබන්න පටන්ගත්තේ කොයි වේලාවේ දැ”යි ඔහු ඔවුන්ගෙන් විමසී ය. “ඊයේ පස්වරු එකට පමණ උණ බැස්සේ ය”යි ඔව්හු කී හ.</verse>
				<verse number="53">“ඔබගේ පුත්‍රයා ජීවත් වන්නේ ය”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළේ, ඒ මොහොතේ දී යයි දැනගත් බැවින්, ඔහු ද, ඔහුගේ ගෙයි වැසි සියල්ලෝ ද එතුමන් අදහාගත්හ.</verse>
				<verse number="54">මේ වනාහි, ජේසුස් වහන්සේ ජුදයේ සිට ගලීලයට පැමිණි පසු, කළ දෙ වන දේව බල ප්‍රකාශනය වේ.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">ඉන්පසු ජුදෙව්වරුන්ගේ මංගල්‍යයක් විය. ජේසුස් වහන්සේ ද ජෙරුසලමට වැඩම කළ සේක.</verse>
				<verse number="2">ජෙරුසලමෙහි බැටළු දොරටුව ළඟ, හෙබ්‍රෙව් බසින් ‘බෙතෙස්දා’ යයි නම් ලත් පොකුණක් විය. එය අවට ද්වාර මණ්ඩප පහක් විය.</verse>
				<verse number="3">ඒවායෙහි අන්ධ වූ ද කොර වූ ද අංශභාග වූ ද රෝගීන් සමූහයක් ඔත්පළ ව සිටියෝ ය.</verse>
				<verse number="4">ඔව්හු වතුර කැළඹෙන තෙක් බලා සිටියාහ. මන්ද, සමිඳාණන් වහන්සේගේ දුතයෙක් කලින් කල පොකුණට බැස වතුර කැළඹුවේ ය. වතුර කළඹනු ලැබූ පසු එහි බට පළමුවැන්නා කවර රෝගයකින් පෙළුණු නමුත් සුවකරනු ලැබී ය.</verse>
				<verse number="5">එහි තිස් අට අවුරුද්දක් රෝගී ව සිටි එක් මිනිසෙක් විය.</verse>
				<verse number="6">ඒ මිනිසා හාන්සි වී සිටිනු ජේසුස් වහන්සේ දැක, ඔහු බොහෝ කලක් එහි සිටි බව දැන, “ඔබ සුව වීමට කැමැති දැ”යි ඔහුගෙන් ඇසූ සේක.</verse>
				<verse number="7">රෝගියා උන් වහන්සේට උත්තර දෙමින්, “ස්වාමීනි, වතුර කැළඹෙන විට මා පොකුණට බස්වන්නට කිසිවෙක් නැත. මා එන අතර, අන් කෙනෙක් මට පළමුවෙන් බසින්නේ ය”යි කීවේ ය.</verse>
				<verse number="8">“නැඟිට ඔබේ පැදුර රැගෙන යන්නැ”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක.</verse>
				<verse number="9">එකෙණෙහි ම මිනිසා සුවපත් වී, සිය පැදුර රැගෙන යන්නට ගියේ ය. එය සබත් දවස විය.</verse>
				<verse number="10">එබැවින් ජුදෙව්වරු, “අද සබත් දවස ය, පැදුර රැගෙන යෑම නීති විරෝධී ය”යි සුවය ලැබූ මිනිසාට කී හ.</verse>
				<verse number="11">එහෙත්, ඔහු ඔවුන්ට පිළිතුරු දෙමින්, “මා සුවපත් කළ තැනැත්තා ම ‘ඔබේ පැදුර රැගෙන යන්නැ’යි මට කීවේ ය”යි කී ය.</verse>
				<verse number="12">“ ‘පැදුර රැගෙන යන්නැ’යි ඔබට කී මිනිසා කවරෙක් දැ”යි ඔව්හු විමසූ හ.</verse>
				<verse number="13">එහෙත් සුවපත් කරනු ලැබූ මිනිසා, ඔහු කවරෙක් දැ යි නොදත්තේ ය. මන්ද, ඒ ස්ථානයේ සමූහයා අතරින් ජේසුස් වහන්සේ සොයාගත නො හැකි වූ බැවිනි.</verse>
				<verse number="14">ඉන්පසු, ජේසුස් වහන්සේ දේව මාලිගාවේ දී ඔහු මුණගැසී, “බලන්න, ඔබ සුවපත් වී ඇත. මීට වඩා භයානක දෙයක් සිදු නොවන පිණිස තවත් පව් නොකරන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="15">ඒ මිනිසා ද ගොස්, තමා සුවපත් කෙළේ, ජේසුස් වහන්සේ බව ජුදෙව්වරුන් හට සැළ කෙළේ ය.</verse>
				<verse number="16">ජේසුස් වහන්සේ මෙවැනි දේ සබත් දවසේ දී කළ බැවින්, ජුදෙව්වරු උන් වහන්සේට පීඩා කළහ.</verse>
				<verse number="17">එහෙත්, ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මාගේ පියාණන් වහන්සේ නොනැවතී ම වැඩ කරන සේක; මමත් වැඩකරමි”යි වදාළ සේක.</verse>
				<verse number="18">මේ කරුණ නිසා ජුදෙව්වරු උන් වහන්සේ මරන්නට වඩ වඩා උත්සාහ දැරූ හ. මන්ද, උන් වහන්සේ සබත කඩ කළා පමණක් නොව, “දෙවියන් වහන්සේ තමන්ගේ ම පියාණෝ ය”යි කියමින්, තමාත් දෙවියන් වහන්සේට සමාන යයි ප්‍රකාශ කළ නිසා ය.</verse>
				<verse number="19">ජේසුස් වහන්සේ ඔවුන්ට මෙසේ පිළිතුරු දුන් සේක: “ඒකාන්තයෙන් ම මම ඔබට කියමි: පුත්‍රයාණන්ට කිසිවක් තනි බලයෙන් කළ නොහැකි ය; පියාණන් වහන්සේ යමක් කරනවා පුත්‍රයා දකින්නේ ද, ඒ දෙය මිස තනි ව ම කිසිවක් කරන්නට උන් වහන්සේට නො හැකි ය. මන්ද, උන් වහන්සේ යම් දෙයක් කරන සේක් ද, ඒ දෙය පුත්‍රයාණෝ ද එසේ ම කරන සේක.</verse>
				<verse number="20">මන්ද, පියාණන් වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරන බැවින්, තමන් වහන්සේ කරන සියලු ක්‍රියා උන් වහන්සේට දක්වා වදාරන සේක. තවද, ඔබ මවිත කරවන සුලු, මීටත් වඩා මහත් ක්‍රියා ද දක්වා වදාරන සේක.</verse>
				<verse number="21">පියාණන් වහන්සේ මළවුන් උත්ථාන කොට ජීවත් කරවන්නාක් මෙන්, පුත්‍රයාණෝ ද තමන්ට අභිමත වූවන් ජීවත් කරවන සේක.</verse>
				<verse number="22">සැබැවින් ම පියාණන් වහන්සේ කිසිවකු විනිශ්චය නොකරන සේක. සම්පූර්ණ විනිශ්චය පුත්‍රයාණන් හට පවරා ඇත.</verse>
				<verse number="23">එසේ කෙළේ, සියලු දෙනා පියාණන්ට මෙන් ම පුත්‍රයාණන්ට ද ගෞරව කරන පිණිස ය. පුත්‍රයාණන්ට ගෞරව නොකරන්නා, පුත්‍රයාණන් එවා වදාළ පියාණන්ට ද ගෞරව නොකරන්නේ ය.</verse>
				<verse number="24">“ඒකාන්තයෙන් මම ඔබට කියමි: මාගේ වචනය අසා, මා එවා වදාළ තැනැන් වහන්සේ අදහාගන්නාට සදාතන ජීවනය ඇත; ඔහු විනිශ්චයට නොපැමිණෙයි; ඔහු මරණයෙන් ජීවනයට පැමිණ සිටියි.</verse>
				<verse number="25">ඒකාන්තයෙන් මම ඔබට කියමි: දේව පුත්‍රයාණන්ගේ හඬ මළවුන් හට ඇසෙන පැය පැමිණෙන්නේ ය; දැනට ම පැමිණ ඇත; සවන් දෙන අය ජීවත් වෙති.</verse>
				<verse number="26">පියාණන් වහන්සේට තමන් තුළ ම ජීවනය තිබෙන්නාක් මෙන් ම, පුත්‍රයාණන්ටත් තමන් තුළ ජීවනය ඇති ව සිටින්නට උන් වහන්සේ වරය දුන් සේක.</verse>
				<verse number="27">තවද, උන් වහන්සේ මනුෂ්‍ය-පුත්‍රයාණන් වන බැවින් විනිශ්චය කිරීමේ අධිකාරි බලය ද උන් වහන්සේට දෙවා වදාළ සේක.</verse>
				<verse number="28">මේ ගැන මවිත නොවන්න; මන්ද, සොහොන්ගත සියල්ලන්ට උන් වහන්සේගේ හඬ ඇසෙන පැය පැමිණෙන්නේ ය.</verse>
				<verse number="29">එවිට, යහපත කළ අය සදාතන ජීවනය සඳහා උත්ථාන කරනු ලබති; අයහපත කළ අය විනිශ්චය සඳහා උත්ථාන කරනු ලබති.</verse>
				<verse number="30">“මාගේ තනි බලයෙන් මට කිසිත් කළ නො හැකි ය. අණ ලත් පරිද්දෙන් ම මම විනිශ්චය කරමි. මාගේ විනිශ්චය සාධාරණ ය. මන්ද, මාගේ අරමුණ, මාගේ ම කැමැත්ත ඉටු කිරීම නොව, මා එවා වදාළ උන් වහන්සේගේ කැමැත්ත ඉටු කිරීම ය.”</verse>
				<verse number="31">“මම, මා ගැන ම සාක්ෂි දෙන්නෙම් නම්, මාගේ සාක්ෂිය සැබෑ නොවේ.</verse>
				<verse number="32">එහෙත්, මා ගැන සාක්ෂි දරන වෙන කෙනෙක් වෙති. උන් වහන්සේ මා ගැන දරන සාක්ෂිය සැබෑ බව මම දනිමි.</verse>
				<verse number="33">ඔබ ජොහන් වෙත මිනිසුන් යැව්වහු ය. ඔහු සත්‍යය පිළිබඳ සාක්ෂිය දරා ඇත.</verse>
				<verse number="34">එහෙත්, මා මේ දේ ඔබට කියන්නේ, මිනිසාගෙන් සාක්ෂියක් ලබන පිණිස නොව, ඔබ ගැළවීම ලබන පිණිස ය.</verse>
				<verse number="35">ජොහන් වනාහි, දිළෙන, බැබළෙන පහනක් විය. ඔබ කලක් ඔහුගේ ආලෝකයෙහි ප්‍රමුදිත වන්නට කැමැති වූවහු ය.</verse>
				<verse number="36">එහෙත් මට ඇති සාක්ෂිය ජොහන්ගේ සාක්ෂියට වඩා උතුම් එකකි. මන්ද, මා විසින් පරිපූර්ණ කරනු ලබන පිණිස පියාණන් වහන්සේ මට පැවරූ කටයුතු, එනම්, මා කරන කටයුතු ම, පියාණන් වහන්සේ මා එවා වදාළ බවට සාක්ෂි වෙයි.</verse>
				<verse number="37">තවද, මා එවා වදාළ පියාණන් වහන්සේ ම මා පිළිබඳව සාක්ෂි දරා ඇත. උන් වහන්සේගේ හඬ කිසි කලෙක ඔබ අසා නැත. ස්වරූපය ද දැක නැත.</verse>
				<verse number="38">තවද, උන් වහන්සේගේ වචනය ඔබ තුළ නිදන්ගත වී නැත. මන්ද, ඔබ උන් වහන්සේ එවා වදාළ තැනැන් වහන්සේ විශ්වාස නොකරන බැවිනි.</verse>
				<verse number="39">ඔබ ශුද්ධ ලියවිල්ල හදාරන්නහු ය. එසේ කරන්නේ, ඒවායෙහි ඔබට සදාතන ජීවනය ඇතැ යි ඔබ සිතන බැවිනි. ඒවා ම මා ගැන සාක්ෂි දරන්නේ ය.</verse>
				<verse number="40">එහෙත්, ජීවනය ලබන පිණිස මා වෙතට එන්නට ඔබ කැමැති නොවන්නහු ය.</verse>
				<verse number="41">“මම මිනිසුන්ගෙන් ගෞරවය නොසොයමි.</verse>
				<verse number="42">එහෙත් මම ඔබ හොඳින් අඳුනමි. ඔබ තුළ දෙවියන් වහන්සේගේ ප්‍රේමය නොමැති බව මම දනිමි.</verse>
				<verse number="43">මම මාගේ පියාණන් වහන්සේගේ නාමයෙන් පැමිණියෙමි. එහෙත්, ඔබ මා නොපිළිගන්නහු ය. වෙන තැනැත්තෙකු තමාගේ ම නාමයෙන් පැමිණියහොත්, ඔබ ඔහු පිළිගනු ඇත.</verse>
				<verse number="44">එක ම දෙවියන් වහන්සේගේ ගෞරවය නොසොයන, එකිනෙකාගෙන් ගෞරව ලබන්නට ප්‍රිය කරන ඔබ, අදහාගන්නේ කෙසේ ද?</verse>
				<verse number="45">ඔබට විරුද්ධ ව මම පියාණන් වහන්සේට චෝදනා කරන්නෙමි යි නො සිතන්න. ඔබට විරුද්ධ ව චෝදනා කරන්නෙක් ඇත; එනම්, මෝසෙස් ය. ඔබේ බලාපොරොත්තුව ඔබ තබා ඇත්තේ ඔහු පිට ය.</verse>
				<verse number="46">ඔබ මෝසෙස් විශ්වාස කළාහු නම්, මා ද විශ්වාස කරන්නහු ය. මන්ද, මෝසෙස් මා ගැන ලියූ බැවිනි.</verse>
				<verse number="47">ඔබ මෝසෙස්ගේ ලියවිලි විශ්වාස නොකරන්නහු නම්, මාගේ වචන විශ්වාස කරන්නේ කෙසේ ද?”</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">ඉන්පසු ජේසුස් වහන්සේ ගලීල මුහුදෙන්, හෙවත් තිබේරියස් මුහුදෙන් එගොඩට වැඩම කළ සේක.</verse>
				<verse number="2">උන් වහන්සේ රෝගීන් සුව කරමින් කළ හාස්කම් දුටු බැවින් මහා සමූහයක් උන් වහන්සේ පසුපස්සේ ගියහ.</verse>
				<verse number="3">එවිට ජේසුස් වහන්සේ කන්දකට නැඟී තමන්ගේ ශ්‍රාවකයන් සමඟ එහි වැඩහුන් සේක.</verse>
				<verse number="4">ජුදෙව්වරුන්ගේ මංගල්‍යය වූ පාස්කුව ළං ව තිබිණි.</verse>
				<verse number="5">ජේසුස් වහන්සේ ඇස් ඔසවා බැලූ කල, තමන් ළඟට මහා සමූහයක් ඇදී එනු දැක, “මොවුන් හැම දෙනාට ම කන්නට දීමට අපි කොතැනින් රොටි මිලේට ගනිමු දැ”යි පිලිප්ගෙන් ඇසූ සේක.</verse>
				<verse number="6">උන් වහන්සේ මෙසේ වදාළේ ඔහු පරීක්ෂා කරන පිණිස ය. මන්ද, තමන් කරන්න යන්නේ කුමක් දැ යි උන් වහන්සේ ම දැන සිටි බැවිනි.</verse>
				<verse number="7">පිලිප් පිළිතුරු දෙමින්, “එකිනෙකාට ටික ටිකවත් දීමට රිදී කාසි දෙසියයක රොටි වුවත් නොසෑහේ ය”යි කී ය.</verse>
				<verse number="8">ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක් වූ සීමොන් පේදුරුගේ සොහොයුරු ඇන්ඩෘ උන් වහන්සේ අමතා,</verse>
				<verse number="9">“යව රොටි පහක් ද මසුන් දෙදෙනකු ද ඇති කොලුවෙක් මෙහි සිටියි. එහෙත් මෙපමණ දෙනෙකුන්ට එයින් කුමන පලක් දැ”යි ඇසී ය.</verse>
				<verse number="10">“මිනිසුන් හිඳුවන්නැ”යි ජේසුස් වහන්සේ වදාළ සේක. එතැන බොහෝ තණකොළ විය. ගණනින් පන්දහසක් පමණ පිරිමි එහි හිඳගත්හ.</verse>
				<verse number="11">එවිට ජේසුස් වහන්සේ රොටි ගෙන තුති පුදා, හිඳගෙන සිටි අයට බෙදා දුන් සේක. එලෙස ම මසුන්ගෙන් ද දුන් සේක. සියල්ලන්ට කැමැති තරම් කෑම ලැබුණේ ය.</verse>
				<verse number="12">ඔවුන් කා තෘප්තියට පැමිණි පසු, උන් වහන්සේ සිය ශ්‍රාවකයන් අමතා, “කිසිවක් නාස්ති නොවන ලෙස කැබලි එකතු කර ගන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="13">මෙසේ කෑම වැළඳු අය, යව රොටි පහෙන් ඉතිරි කළ කැබලි එකතු කොට මලු දොළසක් පුරවාගන්නා ලදී.</verse>
				<verse number="14">සමූහයා මේ හාස්කම දුටු කල “සැබෑවට ම මෙතුමාණෝ ලොවට වඩින්නට සිටින දිවැසිවරයාණෝ ය”යි කී හ.</verse>
				<verse number="15">තමන් බලහත්කාරයෙන් අල්ලාගෙන, රජකමට පත් කරන්නට ඔවුන් සැරසෙන බව ජේසුස් වහන්සේ දැනගෙන, නැවත තනියම කන්දට වැඩිය සේක.</verse>
				<verse number="16">සවස් වූ කල, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ මුහුදට ගොස්,</verse>
				<verse number="17">ඔරුවට නැඟී මුහුදෙන් එතෙර‍ කපර්ණවුමට යන්නට පිටත් වූ හ. රෑ බෝ වී තිබුණ නමුත්, ජේසුස් වහන්සේ ඒ තාක් ඔවුන් වෙත නො පැමිණි සේක.</verse>
				<verse number="18">තද සුළඟක් හැමූ බැවින් මුහුද කැළඹිණි.</verse>
				<verse number="19">ඔව්හු කිලෝමීටර් පහක් පමණ ඔරුව පැදගෙන ගිය කල, ජේසුස් වහන්සේ මුහුද මත ඇවිදිමින් ඔරුව ළඟට වඩින බව දැක බියපත් වූ හ.</verse>
				<verse number="20">එහෙත්, උන් වහන්සේ ඔවුන් අමතා, “මේ මම ය, බිය නො වන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="21">ඔව්හු උන් වහන්සේ ඔරුවට පිළිගන්නට සතුටු වූ හ. එකෙණෙහි ම ඔරුව ඔවුන් යමින් සිටි රටට පැමිණියේ ය.</verse>
				<verse number="22">පසු දින උදේ මුහුදෙන් එගොඩ සිටි සමූහයා, එහි තිබුණේ එක ම ඔරුවක් පමණක් බවත්, ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ එයට නො නැඟුණු බවත්, ශ්‍රාවක පිරිස පමණක් එයට නැඟී ගිය බවත් දැක සිටියහ.</verse>
				<verse number="23">කෙසේ වුව ද, සමිඳාණන් වහන්සේ තුති පිදූ පසු රොටි වළඳන ලද ස්ථානය සමීපයට තිබේරියස් සිට ඔරු පැමිණියේ ය.</verse>
				<verse number="24">ජේසුස් වහන්සේ වත්, ශ්‍රාවකයන් වත් එහි නො සිටි බව සමූහයා දුටු කල, ඔව්හු ඒ ඔරුවලට නැඟී ජේසුස් වහන්සේ සොයමින් කපර්ණවුමට පැමිණියාහ.</verse>
				<verse number="25">මුහුදෙන් එගොඩ දී උන් වහන්සේ හමු වී, “ගුරුදේවයෙනි, ඔබ මෙහි වැඩියේ කොයි වේලේ දැ”යි ඔව්හු ඇසූ හ.</verse>
				<verse number="26">ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒකාන්තයෙන් මම ඔබට කියමි, ඔබ මා සොයන්නේ හාස්කම් දුටු නිසා නොව, රොටි කා තෘප්තියට පැමිණි නිසා ය.</verse>
				<verse number="27">නැති වී යන ආහාරය සඳහා නොව, සදාතන ජීවනයට ඉවහල් වන ආහාරය සඳහා වීර්ය වඩන්න. මේ ආහාරය ඔබට ප්‍රදානය කරන්නේ මනුෂ්‍ය-පුත්‍රයාණෝ ය. පියාණන් වන දෙවියන් වහන්සේ මුද්‍රාව තබා ඇත්තේ උන් වහන්සේ මත ය”යි වදාළ සේක.</verse>
				<verse number="28">එබැවින් ඔව්හු, “දෙවියන් වහන්සේගේ අභිප්‍රාය අනුව වැඩ කරන පිණිස අප කුමක් කටයුතු දැ”යි ඇසූ හ.</verse>
				<verse number="29">ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේගේ අභිප්‍රාය වනුයේ, උන් වහන්සේ එවා වදාළ තැනැත්තාණන් ඔබ විසින් අදහාගැනීම ය”යි වදාළ සේක.</verse>
				<verse number="30">එවිට ඔව්හු, “එසේ නම්, අප විසින් දැක අදහාගන්නා පිණිස ඔබ කවර හාස්කමක් දක්වන සේක් ද? කවර ක්‍රියාවක් කරන සේක් ද?</verse>
				<verse number="31">අපේ පියවරු පාළුකරයෙහි දී මන්නා කෑහ. ‘බුදින පිණිස එතුමෝ ඔවුන්ට ස්වර්ගයෙන් ආහාර සැපයූහ’යි ලියා ඇතැ”යි උන් වහන්සේට කී හ.</verse>
				<verse number="32">එවිට ජේසුස් වහන්සේ, “ඒකාන්තයෙන් මම ඔබට කියමි, ස්වර්ගයෙන් ඔබට ආහාරය දුන්නේ මෝසෙස් නොවේ; ස්වර්ගයෙන් සැබෑ ආහාරය දෙන්නේ මාගේ පියාණන් වහන්සේ ය.</verse>
				<verse number="33">මන්ද, දෙවියන් වහන්සේ දෙන ආහාරය වනාහි, ස්වර්ගයෙන් පහළ වී ලෝකයට ජීවනය දෙන ආහාර ය”යි වදාළ සේක.</verse>
				<verse number="34">ඔව්හු ද, “ස්වාමීනි, ඒ ආහාරය නිතර ම අපට දුන මැනවැ”යි කී හ.</verse>
				<verse number="35">ජේසුස් වහන්සේ කතා කොට, “ජීවනදායක ආහාරය මම ය, මා වෙත පැමිණෙන යමෙක් වේ ද, ඔහුට සාගිනි නොවන්නේ ය. මා අදහන යමෙක් වේ ද, ඔහුට කිසි කලෙකත් පිපාසය නොවන්නේ ය.</verse>
				<verse number="36">එහෙත් මා කී ලෙස ම, ඔබ මා දුටු නමුත් මා නොඅදහන්නහු ය.</verse>
				<verse number="37">පියාණන් වහන්සේ මට දෙන සියල්ලෝ ම මා වෙතට පැමිණෙති; මා වෙතට පැමිණෙන්නා මම කිසි සේත් ඉවත නොදමමි.</verse>
				<verse number="38">මා ස්වර්ගයෙන් පහළ වූයේ මාගේ ම කැමැත්ත කරන පිණිස නොව, මා එවා වදාළ තැනැන් වහන්සේගේ කැමැත්ත කරන පිණිස ය.</verse>
				<verse number="39">මා එවා වදාළ උන් වහන්සේගේ කැමැත්ත නම්, උන් වහන්සේ මට දුන් සියල්ලන්ගෙන් එක් කෙනෙකු වත් නැති වන්නට නෑර, සියල්ලන් ම අන්තිම දවසේ දී මා විසින් උත්ථාන කරනු ලැබීම ය.</verse>
				<verse number="40">පුත්‍රයාණන් වහන්සේ දැක උන් වහන්සේ අදහාගන්නා හැම කෙනෙකු ම සදාතන ජීවනය ලැබීම මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ය. මම ද අන්තිම දවසේ දී ඔවුන් උත්ථාන කරන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="41">එවිට, ‘ස්වර්ගයෙන් පහළ වූ ආහාරය මම ය’යි උන් වහන්සේ වදාළ බැවින්, ජුදෙව්වරු උන් වහන්සේ ගැන මැසිවිලි කියමින්,</verse>
				<verse number="42">“මොහු ජෝසෙප්ගේ පුත් ජේසුස් නොවේ ද? අප මොහුගේ මව ද පියා ද අඳුනන්නේ නැද් ද? ‘මම ස්වර්ගයෙන් බැස්සෙමි’යි ඔහු දැන් කියන්නේ කෙසේ දැ”යි කී හ.</verse>
				<verse number="43">ජේසුස් වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ අතරෙහි මැසිවිලි නොදොඩන්න.</verse>
				<verse number="44">මා එවා වදාළ පියාණන් වහන්සේ තමන් වෙත ඇද ගන්නා අයෙකුට මිස, අන් කිසිවෙකුට මා වෙතට පැමිණිය නොහැකි ය. මම අන්තිම දවසේ දී ඔහු උත්ථාන කරන්නෙමි.</verse>
				<verse number="45">‘සියල්ලෝ ම දෙවියන් වහන්සේ විසින් උගන්වනු ලබති’යි දිවැසාවලියෙහි ලියා ඇත. දෙවියන් වහන්සේට සවන් දී, උන් වහන්සේගෙන් ඉගෙනගත් සියල්ලෝ ම මා වෙත එති.</verse>
				<verse number="46">දෙවියන් වහන්සේ වෙතින් පැමිණි තැනැන් වහන්සේ හැර, අන් කිසිවෙකු දෙවියන් වහන්සේ දැක ඇතැ යි මෙයින් අදහස් නොකරමි, උන් වහන්සේ පමණක් පියාණන් වහන්සේ දැක ඇත.</verse>
				<verse number="47">ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, අදහන්නාට සදාතන ජීවනය ඇත.</verse>
				<verse number="48">ජීවනදායක ආහාරය මම ය.</verse>
				<verse number="49">ඔබේ පියවරු කාන්තාරයේ දී මන්නා කෑහ; එහෙත් ඔව්හු මියගියහ.</verse>
				<verse number="50">මෙය වනාහි, ස්වර්ගයෙන් බැස එන ආහාරය බැවින් එයින් පෝෂණය වන කිසිදු මිනිසෙක් නො මැරෙන්නේ ය.</verse>
				<verse number="51">ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක ආහාරය මම ය. යමෙක් මේ ආහාරයෙන් වැළඳුවොත්, ඔහු සදහට ම ජීවත් වන්නේ ය. මා විසින් දෙනු ලබන ඒ ආහාරය මාගේ මාංසය වේ. මා එය දෙන්නේ ලෝකයාගේ ජීවනය පිණිස ය”යි වදාළ සේක.</verse>
				<verse number="52">එවිට ජුදෙව්වරු ඔවුනොවුන් අතර විවාද කරමින්, “මේ මිනිසා, ඔහුගේ මාංසය අනුභව කරන පිණිස අපට දෙන්නේ කෙසේ දැ”යි කී හ.</verse>
				<verse number="53">එබැවින් ජේසුස් වහන්සේ ඔවුන් මෙසේ ඇමතූ සේක: “ඒකාන්තයෙන් මම ඔබට කියමි, ඔබ මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ මාංසය අනුභව නොකරන්නහු නම්, ඔහුගේ රුධිරය පානය නොකරන්නහු නම්, ඔබ තුළ ජීවනය නැත.</verse>
				<verse number="54">යමෙක් මාගේ මාංසය අනුභව කරන්නේ ද, මාගේ රුධිරය පානය කරන්නේ ද, ඔහුට සදාතන ජීවනය ඇත. තවද, මම ඔහු අන්තිම දවසේ දී උත්ථාන කරන්නෙමි.</verse>
				<verse number="55">මන්ද, මාගේ මාංසය සැබෑ ආහාරය වේ; මාගේ රුධිරය සැබෑ පානය වේ.</verse>
				<verse number="56">මාගේ මාංසය අනුභව කරන, මාගේ රුධිරය පානය කරන තැනැත්තේ මා තුළ ජීවත් වන්නේ ය; මම ද ඔහු තුළ ජීවත් වන්නෙමි.</verse>
				<verse number="57">ජීවමාන පියාණන් වහන්සේ මා එවා වදාළ බැවින්, මා පියාණන් වහන්සේ නිසා ජීවත් වන ලෙස ම, මා අනුභව කරන තැනැත්තේ, මා නිසා ජීවත් වෙයි.</verse>
				<verse number="58">මේ වනාහි ස්වර්ගයෙන් පහළ වූ ආහාරය වේ. එය අපේ පියවරුන් වැළඳූ ආහාර මෙන් නොවේ. ඒ ආහාරය වැළඳූ ඔව්හු මළහ. එහෙත්, මේ ආහාරය වළඳන තැනැත්තේ සදහට ම ජීවත් වන්නේ ය.”</verse>
				<verse number="59">උන් වහන්සේ කපර්ණවුමේ ධර්මශාලාවෙහි උගන්වමින් සිටිය දී මේ සියල්ල වදාළ සේක.</verse>
				<verse number="60">එය ඇසූ විට, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ බොහෝ දෙනෙක් “මෙය දරාගන්නට බැරි කීමකි, එතුමාණන්ට සවන් දී සිටිය හැක්කේ කාට දැ”යි තමන් අතරේ කතා කරගත්හ.</verse>
				<verse number="61">ශ්‍රාවකයන් මෙසේ මැසිවිලි කියන බව ජේසුස් වහන්සේ දිවැසින් දැන ඔවුන් අමතා, “මෙය ඔබට අධෛර්යයට පත්වීමට හේතුවක් ද?</verse>
				<verse number="62">එසේ නම්, මනුෂ්‍ය-පුත්‍රයාණන් පෙර සිටි තැනට නඟිනු බව ඔබ දුටුවොත් කෙසේ ද?</verse>
				<verse number="63">ජීවනය දෙන්නේ ආත්මය වේ. මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා ඔබට වදාළ වචන ආත්මය ද ජීවනය ද වෙයි.</verse>
				<verse number="64">එහෙත් නොඅදහන සමහරෙක් ඔබ අතරෙහි සිටිති”යි වදාළ සේක. එසේ වදාළේ, නොඅදහන්නෝ කවුරු ද කියාත්, තමන් වහන්සේ පාවා දෙන්නට යන්නේ කවරෙක් ද කියාත්, ජේසුස් වහන්සේ මුල සිට ම දැනගෙන සිටි බැවිනි.</verse>
				<verse number="65">එහෙයින් උන් වහන්සේ ඔවුන් අමතා, “මාගේ පියාණන් වහන්සේගෙන් වරය ලැබූ කෙනෙකුට මිස, අන් කිසිවෙකුට මා වෙතට පැමිණිය නො හැකි බව මා කීවේ ඒ නිසා ය”යි වදාළ සේක.</verse>
				<verse number="66">මේ නිසා එවක් පටන් උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් බොහෝ දෙනෙක් පසුබට වී, තවත් උන් වහන්සේ අනුව නොගියහ.</verse>
				<verse number="67">ජේසුස් වහන්සේ දොළොස් දෙනා අමතා, “ඔබත් ඉවත් ව යන්නට සිතන්නහු දැ”යි ඇසූ සේක.</verse>
				<verse number="68">සීමොන් පේදුරු පිළිතුරු දෙමින්, “ස්වාමීනි, අප කවරෙකු වෙතට යන්න ද? සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙත ය.</verse>
				<verse number="69">ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධවරයාණන් වහන්සේ බව අපි අදහමු. එසේ ම ඒ බව දනිමු”යි කී ය.</verse>
				<verse number="70">ජේසුස් වහන්සේ කතා කොට, “ඔබ දොළොස් දෙනා තෝරාගත්තේ මම නොවෙම් ද? ඒ නමුත් ඔබෙන් එක් කෙනෙක් යක්ෂයෙක් ය”යි වදාළ සේක.</verse>
				<verse number="71">එසේ වදාළේ, සීමොන් ඉස්කාරියොත්ගේ පුත්‍ර වූ ජූදස් ගැන ය. ජේසුස් වහන්සේ පාවා දෙන්නට සිටියේ දොළොස් දෙනාගෙන් එක් කෙනෙක් වූ ඔහු ය.</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">ඉන්පසු ජේසුස් වහන්සේ ගලීලයේ සැරිසරමින් සිටි සේක. ජුදෙව්වරුන් තමන් මරන්නට සෙවූ බැවින්, උන් වහන්සේ ජුදයෙහි සැරිසරන්ට නොකැමැති වූ සේක.</verse>
				<verse number="2">එකල ජුදෙව්වරුන්ගේ කූඩාරම් මංගල්‍යය ළං ව තිබිණි.</verse>
				<verse number="3">එබැවින් උන් වහන්සේගේ සහෝදරයෝ කතා කොට, “ඔබ කරන ක්‍රියා ඔබේ ශ්‍රාවකයන් ද දකින පිණිස මෙතැනින් පිටත් ව ජුදයට යන්න.</verse>
				<verse number="4">එසේ කියන්නේ, ප්‍රසිද්ධ වන්නට කැමැති කිසිවෙකු රහසින් කිසිත් නොකරන බැවිනි. ඔබ මේ දේවල් කරන්නෙහි නම්, ලෝකයාට ප්‍රකාශ වුව මැනවැ”යි කී හ.</verse>
				<verse number="5">මන්ද, සිය සහෝදරයෝ පවා උන් වහන්සේ අදහාගත්තේ නැත.</verse>
				<verse number="6">ජේසුස් වහන්සේ ඔවුන් අමතා, “මගේ නියමිත මොහොත තව ම පැමිණ නැත. එහෙත් ඔබට නම් කොයි වේලාවත් සුදුසු ය.</verse>
				<verse number="7">ඔබට ද්වේෂ කරන්නට ලෝකයාට නොහැකි ය. එහෙත්, ලෝකයා මට ද්වේෂ කරති. මන්ද, ‘ලෝකයාගේ ක්‍රියා නපුරු ය’යි මා සාක්ෂි දරන බැවිනි.</verse>
				<verse number="8">ඔබ කැමැති නම් මංගල්‍යයට යන්න. මාගේ නියමිත මොහොත තව ම පැමිණ නැති බැවින් මම නම් නොයමි”යි වදාළ සේක.</verse>
				<verse number="9">උන් වහන්සේ මෙසේ වදාරා ගලීලයෙහි ම නැවතී සිටි සේක.</verse>
				<verse number="10">එහෙත්, තමන්ගේ සහෝදරයන් මංගල්‍යයට ගිය පසු, උන් වහන්සේ ද ප්‍රසිද්ධියේ නොව, රහසින් මංගල්‍යයට වැඩිය සේක.</verse>
				<verse number="11">එකල ජුදෙව්වරු මංගල්‍යයේ දී උන් වහන්සේ සොය සොයා “ඔහු කොහේ දැ”යි විමසූ හ.</verse>
				<verse number="12">සමූහයා අතර උන් වහන්සේ ගැන මහා කසුකුසුවක් ඇති විය. සමහරුන් “උන් වහන්සේ සත්පුරුෂයෙකැ”යි කී අතර, සමහරු, “එසේ නොවේ, ඔහු මහජනයා මුළා කරති”යි කී හ.</verse>
				<verse number="13">එහෙත්, ජුදෙව්වරුන්ට බියෙන් කිසිවෙක් උන් වහන්සේ ගැන එළිපිට කතා නොකළහ.</verse>
				<verse number="14">මංගල්‍යයේ මැද හරියේ දී ජේසුස් වහන්සේ දේව මාලිගාවට වැඩම කර අනුශාසනා කරන්නට පටන්ගත් සේක.</verse>
				<verse number="15">ඒ ගැන ජුදෙව්වරු මවිත ව “කිසිකලෙක ඉගෙන නොගත් මේ මිනිසාට මේ සා උගත්කමක් කොයින් දැ”යි කී හ.</verse>
				<verse number="16">එහෙයින් ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මාගේ ඉගැන්වීම මාගේ ම නොව, මා එවා වදාළ තැනැන් වහන්සේගේ ය.</verse>
				<verse number="17">යමෙක් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නට කැමැති වන්නේ නම්, ඔහු ඒ ඉගැන්වීම දෙවියන් වහන්සේගෙන් වූවක් ද නැතහොත් මාගෙන් ම වූවක් දැ යි දැනගන්නේ ය.</verse>
				<verse number="18">තමාගේ ම අධිකාරී බලයෙන් අදහස් පවසන තැනැත්තේ තමාගේ ම ගෞරවය සොයන්නෙකි. එහෙත්, තමන් එවා වදාළ තැනැන් වහන්සේගේ ගෞරවය සොයන්නා අවංක තැනැත්තෙකි. වංක බවක් ඔහු තුළ නැත.</verse>
				<verse number="19">“මෝසෙස් ඔබට ව්‍යවස්ථාවලිය දුන්නා නොවේ ද? එහෙත් ඔබගෙන් කිසිවෙක් ව්‍යවස්ථාවලිය නොපිළිපදිති. ඔබ මා මරන්නට සොයන්නේ මන්දැ”යි ඇසූ සේක.</verse>
				<verse number="20">සෙනඟ පිළිතුරු දෙමින්, “ඔබට දුෂ්ටාත්මයක් වැහී සිටියි; ඔබව මරන්න සොයන්නේ කවරෙක් දැ”යි ඇසූ හ.</verse>
				<verse number="21">ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මම එක් ක්‍රියාවක් සබත් දවසේ දී කෙළෙමි; ඊට ඔබ සියල්ලෝ ම තවමත් මවිත වී සිටිති.</verse>
				<verse number="22">මෝසෙස් චර්මඡේදන නීතිය ඔබට දී ඇත. (එය මෝසෙස්ගෙන් පැවත එන්නක් නොව, පියවරුන්ගෙන් පැවත එන්නකි). එහෙත්, ඔබ සබත් දවසේ වුව ද චර්මඡේදනය කරන්නහු ය.</verse>
				<verse number="23">ඉදින්, මෝසෙස්ගේ ව්‍යවස්ථාව කඩ නො වන පරිදි, මිනිසෙක් සබත් දවසේ දී චර්මඡේදනය ලබන්නේ නම්, සබත් දවසේ දී මා මිනිසෙකු සම්පූර්ණයෙන් ම සුවපත් කළ බැවින්, ඔබ කෝප වන්නේ මන් ද?</verse>
				<verse number="24">බැලූ බැල්මට විනිශ්චය නොකරන්න; සාධාරණ විනිශ්චයක් ම කරන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="25">එබැවින්, ජෙරුසලම් වැසි ඇතැමෙක්, “ඔවුන් මරන්නට සොයන්නේ මේ මිනිසා නොවේ ද?</verse>
				<verse number="26">එසේ වුව ද ඔහු එළිපිට ම කතා කරයි. එහෙත්, ඔව්හු කිසිවක් ඔහුට නොකියති. මේ ක්‍රිස්තුවරයාණන් බව ප්‍රධානීන් දැන සිටිනවා විය හැකි ද?</verse>
				<verse number="27">කෙසේ වෙතත්, මොහු පැමිණියේ කොහෙන් දැ යි අපි දනිමු. එහෙත් ක්‍රිස්තුවරයාණන් පැමිණි විට උන් වහන්සේ කොතැනින් වඩින සේක් දැ යි කිසිවෙක් දැන නොගනිති”යි කී හ.</verse>
				<verse number="28">එවිට ජේසුස් වහන්සේ දේව මාලිගාවේ දී හඬනඟා අනුශාසනා කරමින් මෙසේ වදාළ සේක: “ඔබ සැම මා දන්නහු ය, මා පැමිණියේ කොතැනින් ද කියාත් දන්නහු ය. එහෙත් මා පැමිණියේ, මාගේ ම කැමැත්තෙන් නොවේ. මා එවා වදාළේ සත්‍යය ම වන තැනැන් වහන්සේ ය. ඔබ උන් වහන්සේ නොදන්නහු ය.</verse>
				<verse number="29">එහෙත් මම උන් වහන්සේ දනිමි; කුමක් හෙයින් ද, මම උන් වහන්සේ කෙරෙන් පැමිණියෙමි; මා එවා වදාළේ උන් වහන්සේ ය.”</verse>
				<verse number="30">මෙසේ වදාළ විට, ඔව්හු උන් වහන්සේ අල්ලාගන්නට උත්සාහ කළහ. ඒ නමුත්, උන් වහන්සේගේ නියමිත මොහොත නොපැමිණි බැවින් කිසිවෙක් උන් වහන්සේ පිට අත් නොතැබූ හ.</verse>
				<verse number="31">එසේ වුව ද, සෙනඟගෙන් බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගෙන, “ක්‍රිස්තුවරයාණන් වැඩම කළ විට, මේ මිනිසා කර ඇති හාස්කම්වලට වඩා යමක් එතුමාණන් කරනු ඇද්දැ”යි ඇසූ හ.</verse>
				<verse number="32">සමූහයා උන් වහන්සේ ගැන මේ දේ කියමින් කොඳුරනු ඇසූ පරිසිවරු ද නායක පූජකයෝ ද උන් වහන්සේ අල්ලාගන්නට මුර සේවකයන් යැවූ හ.</verse>
				<verse number="33">ජේසුස් වහන්සේ ඔවුන් අමතා, “තව ටික කලක් මම ඔබ සමඟ සිටිමි; ඉන්පසු මා එවා වදාළ තැනැන් වහන්සේ වෙතට යමි.</verse>
				<verse number="34">ඔබ මා සොයන්නහු ය; එහෙත් ඔබට මා සම්බ වන්නේ නැත. ඔබට මා සිටින තැනට පැමිණිය නොහැකි ය”යි වදාළ සේක.</verse>
				<verse number="35">එබැවින් ජුදෙව්වරු ඔවුනොවුන් අතර කතා කරමින්, “මොහු අපට සම්බ නොවන පරිදි, කොතැනට යන්නේ ද? ග්‍රීකයන් අතර විසිර සිටින ජුදෙව්වරුන් වෙත ගොස් ග්‍රීකයන්ට උගන්වනු ඇද් ද?</verse>
				<verse number="36">‘ඔබ මා සොයන්නහු ය, එහෙත් ඔබට මා සම්බ වන්නේ නැත; ඔබට මා සිටින තැනට පැමිණිය නොහැකි ය’යි ඔහු කී කියමනේ තේරුම කුමක් දැ”යි ඇසූ හ.</verse>
				<verse number="37">මංගල්‍යයේ අවසාන මහා දවසේ දී, ජේසුස් වහන්සේ නැඟිට, හඬනඟා, “යමෙක් පිපාසයෙන් සිටිත් නම්, ඔහු මා වෙතට පැමිණ පානය කෙරේ වා!</verse>
				<verse number="38">ශුද්ධ ලියවිල්ලෙහි කියා තිබෙන පරිදි මා කෙරෙහි අදහන්නා තුළින් ජීවනදායක ජලධාරා ගලන්නේ ය”යි ප්‍රකාශ කළ සේක.</verse>
				<verse number="39">උන් වහන්සේ මෙසේ වදාළේ තමන් වහන්සේ කෙරෙහි අදහාගත්තවුන් මතු ලබන්නට සිටි ශුද්ධාත්මයාණන් වහන්සේ පිළිබඳ ව ය. ශුද්ධාත්මයාණන් ඒ තාක් නොදෙන ලද්දේ ය; මන්ද, ජේසුස් වහන්සේ ඒ තාක් මහිමයට පත් නොවූ බැවිනි.</verse>
				<verse number="40">මේ වචන ඇසූ කල සෙනඟගෙන් සමහරු, “මොහු, සැබැවින් ම ඒ දිවැසිවරයාණෝ ය”යි කී හ.</verse>
				<verse number="41">අන් සමහරු, “මේ ක්‍රිස්තුස් ය”යි කී හ. තවත් සමහරු “ක්‍රිස්තුවරයාණන් වඩින්නේ ගලීලයෙන් ද?</verse>
				<verse number="42">ක්‍රිස්තුවරයාණන් දාවිත්ගේ වංශයෙන්, දාවිත් විසූ ගම වන බෙත්ලෙහෙ‍මෙන්, වඩින බව ශුද්ධ ලියවිල්ලෙහි ලියා නැද්දැ”යි ඇසූ හ.</verse>
				<verse number="43">මෙසේ උන් වහන්සේ නිසා සමූහයා අතර භේදයක් හටගත්තේ ය.</verse>
				<verse number="44">ඔවුන් අතරෙන් සමහරෙක් උන් වහන්සේ අල්ලාගන්නට සිතූ හ. එහෙත්, කිසිවෙක් උන් වහන්සේ පිට අත නොතැබූ හ.</verse>
				<verse number="45">ඉක්බිති, මුර සේවකයෝ නායක පූජකයන් ද පරිසිවරුන් ද වෙතට පෙරළා පැමිණියහ. ඔව්හු ද, “නුඹලා ඔහු නොගෙනාවේ මන්දැ”යි ඇසූ හ.</verse>
				<verse number="46">“කවර මිනිසෙක් වත් මෙසේ කතා නොකෙළේ ය”යි මුර සේවකයෝ පිළිතුරු දුන්හ.</verse>
				<verse number="47">පරිසිවරු පිළිතුරු දෙමින්, “නුඹලාත් මුළා වූවාහු ද?</verse>
				<verse number="48">ප්‍රධානීන්ගෙන් වත් පරිසිවරුන්ගෙන් වත් කිසිවෙක් ඔහු අදහාගත්තෝ ද?</verse>
				<verse number="49">ව්‍යවස්ථාව නොදත් මේ සෙනඟ සාප ලද්දෝ ය”යි කී හ.</verse>
				<verse number="50">ඔවුන්ගෙන් එක් කෙනෙක් වූ, මීට පෙර උන් වහන්සේ වෙත ගිය නිකොදේමුස් කතා කොට,</verse>
				<verse number="51">“පළමුකොට යම් මිනිසකුගෙන් කරුණු නොවිමසා, ඔහු කරන්නේ කුමක් දැ යි තේරුම් නොගෙන, අපේ ව්‍යවස්ථාව අනුව ඔහු විනිශ්චය කළ හැකි දැ”යි ඔවුන්ගෙන් ඇසී ය.</verse>
				<verse number="52">ඔව්හු පිළිතුරු දෙමින්, “ඔබත් ගලීලයෙක් ද? ගලීලයෙන් දිවැසිවරයෙක් එන්නේ ද කියා සොයා බලන්නැ”යි කී හ.</verse>
				<verse number="53">එවිට සියල්ලෝ ම තම තමන්ගේ ගෙවලට ගිය හ.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">එහෙත්, ජේසුස් වහන්සේ ඔලීව කන්දට වැඩම කළ සේක.</verse>
				<verse number="2">අලුයම උන් වහන්සේ දේව මාලිගාවට වැඩිය සේක. මුළු සෙනඟ උන් වහන්සේ වෙත පැමිණියහ. උන් වහන්සේ වැඩහිඳ ඔවුන්ට උගන්වා වදාළ සේක.</verse>
				<verse number="3">එවිට විනයධරයෝ හා පරිසිවරු කාමමිථ්‍යාචාරයේ හැසිරෙද්දී ම අසු වූ ස්ත්‍රියක ගෙනැවිත් ඔවුන් මැද සිටුවා,</verse>
				<verse number="4">“ගුරුදේවයෙනි, මේ ස්ත්‍රිය කාමමිථ්‍යාචාරයෙහි යෙදී සිටිය දී ම අල්ලාගන්නා ලද්දී ය.</verse>
				<verse number="5">මෙබඳු අය ගල් ගසා මරන්නට මෝසෙස් විසින් ව්‍යවස්ථාවෙහි අපට අණ කර ඇත; එහෙත් මැය ගැන ඔබ කියන්නේ කිමෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.</verse>
				<verse number="6">ඔවුන් මෙසේ ඇසුවේ, උන් වහන්සේ පරීක්ෂා කර උන් වහන්සේට වරද තබන්නට කරුණක් සොයාගන්නා අටියෙනි. එහෙත්, උන් වහන්සේ නැමී සිය ඇඟිල්ලෙන් බිම ලියූ සේක.</verse>
				<verse number="7">ඔවුන් උන් වහන්සේගෙන් දිගින් දිගට ප්‍රශ්න කරද්දී, උන් වහන්සේ කෙළින් සිට, ඔවුන් අමතා, “ඔබ අතරෙන් පවක් නැති තැනැත්තා පළමුකොට ඈට ගලක් ගසන්නැ”යි වදාරා</verse>
				<verse number="8">නැවතත් නැමී සිය ඇඟිල්ලෙන් බිම ලියූ සේක.</verse>
				<verse number="9">ඔවුන් ඒ වචන ඇසූ විට, වැඩිහිටියන්ගෙන් පටන්ගෙන එකෙකා බැගින් යන්නට ගියේ ය. ඉතිරි වූයේ ජේසුස් වහන්සේ ද, ඒ ස්ත්‍රිය ද පමණකි.</verse>
				<verse number="10">ජේසුස් වහන්සේ කෙළින් සිට, ඈට කතා කොට, “ස්ත්‍රිය, ඔව්හු කොහේ ද? කිසිවකු ඔබට වරද තැබුවේ නැද්දැ”යි ඇසූ සේක.</verse>
				<verse number="11">“ස්වාමීනි නැතැ”යි ඈ කීවා ය. “මමත් ඔබට වරද නොතබමි; යන්න, මින්පසු තවත් පව් නොකරන්නැ”යි උන් වහන්සේ ඇයට වදාළ සේක.</verse>
				<verse number="12">යළිත් අවස්ථාවක ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “ලෝකයේ ආලෝකය මම ය; මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="13">එවිට පරිසිවරු උන් වහන්සේට කතා කරමින්, “ඔබ තමා ගැන ම සාක්ෂි දරන්නෙහි ය; ඒ නිසා ඔබේ සාක්ෂිය වලංගු නැතැ”යි කී හ.</verse>
				<verse number="14">ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මා ගැන ම මා සාක්ෂි දරන නමුදු, මාගේ සාක්ෂිය වලංගු ය; මන්ද මම කොතැනින් ආයෙම් ද, කොතැනට යන්නෙම් දැ යි දනිමි. එහෙත්, මා එන්නේ කොතැනින් ද; යන්නේ කොතැනට ද කියා ඔබ නොදන්නහු ය.</verse>
				<verse number="15">ඔබ මනුෂ්‍ය මිම්මෙන් විනිශ්චය කරන්නහු ය; මම කිසිවෙකු විනිශ්චය නොකරමි.</verse>
				<verse number="16">එහෙත් මා විනිශ්චය කළත්, මාගේ විනිශ්චය සැබෑ ය. මන්ද, මා විනිශ්චය කරන්නේ තනියම නොව, මා එවා වදාළ පියාණන් වහන්සේත් සමඟ ය.</verse>
				<verse number="17">‘දෙදෙනෙකුගේ සාක්ෂිය වලංගු ය’යි ඔබේ ව්‍යවස්ථාවෙහි ලියා ඇත.</verse>
				<verse number="18">මම මා ගැන ම සාක්ෂි දරමි; මා එවා වදාළ පියාණන් වහන්සේ ද මා ගැන සාක්ෂි දරන සේකැ”යි වදාළ සේක.</verse>
				<verse number="19">එබැවින් ඔව්හු “ඔබේ පියා කොහේ දැ”යි ඇසූ හ. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ මා හඳුනන්නේ නැත, මාගේ පියාණන් හඳුනන්නේත් නැත. ඔබ මා හඳුනන්නහු නම් මාගේ පියාණන් වහන්සේත් හඳුනනවා ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="20">උන් වහන්සේ මේ වචන වදාළේ දේව මාලිගාවේ උගන්වන අතර, පඬුරු ගබඩාවේ දී ය. එහෙත් කිසිවෙක් උන් වහන්සේ අල්ලා ගත්තේ නැත. මන්ද, උන් වහන්සේගේ නියමිත මොහොත ඒ තාක් නොපැමිණි බැවිනි.</verse>
				<verse number="21">ජේසුස් වහන්සේ යළිත් ඔවුන්ට කතා කොට, “මම ඉවත් ව යමි. ඔබ මා සොයන්නහු ය. එහෙත් ඔබ ඔබේ පාපයෙහි මැරෙන්නහු ය. මා යන ස්ථානයට ඔබට එන්නට නොහැකි ය”යි වදාළ සේක.</verse>
				<verse number="22">එවිට ජුදෙව්වරු, “ ‘ මා යන ස්ථානයට ඔබට එන්නට නොහැකි ය’යි මොහු කියන්නේ සිය පණ හානි කරගන්නට යන නිසා වත් දැ”යි ඇසූ හ.</verse>
				<verse number="23">එබැවින් උන් වහන්සේ, කතා කොට, “ඔබ මෙලොවින් වන්නහු ය; මම එලොවින් වන්නෙමි. ඔබ මේ ලෝකයෙන් ය; මම මේ ලෝකයෙන් නොවෙමි.</verse>
				<verse number="24">ඔබේ පාපයෙහි ම ඔබ මැරෙන්නහු යයි මා කීවේ එබැවිනි. මම උන් වහන්සේ ම යයි ඔබ පිළිගත්තොත් මිස ඔබේ පාපයෙහි ම ඔබ මැරෙන්නහු ය”යි වදාළ සේක.</verse>
				<verse number="25">එබැවින් ඔව්හු, “ඔබ කවරහු දැ”යි ඇසූ හ. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මා ඔබට කී පරිදි, මම මුල සිට ම ඔබට කී තැනැත්තා ම ය.</verse>
				<verse number="26">ඔබ ගැන කියන්නටත් විනිශ්චය කරන්නටත් බොහෝ දේ මට ඇත. එහෙත් මා එවා වදාළ තැනැන් වහන්සේ සත්‍යය බැවින් උන් වහන්සේගෙන් මා ඇසූ දේ මම ලෝකයාට ප්‍රකාශ කරමි”යි වදාළ සේක.</verse>
				<verse number="27">උන් වහන්සේ පියාණන් වහන්සේ ගැන කතා කළ බව ඔවුන්ට අවබෝධ නො වී ය.</verse>
				<verse number="28">එබැවින් ජේසුස් වහන්සේ කතා කොට, “ඔබ මනුෂ්‍ය-පුත්‍රයාණන් ඔසවා ලූ කල මා උන් වහන්සේ ම බවත්, පියාණන් වහන්සේ මට ඉගැන්වූ ලෙස මෙසේ කතා කරනවා මිස, මාගේ ම අධිකාරිත්වයෙන් මා කිසිවක් නොකරන බවත්, ඔබට අවබෝධ වනු ඇත.</verse>
				<verse number="29">මා එවා වදාළ තැනැන් වහන්සේ මා සමඟ වැඩ වසන සේක. උන් වහන්සේ මා තනි වෙන්නට නොහැරිය සේක. මන්ද, මා නිරතුරු උන් වහන්සේට ප්‍රිය මනාප දේ කරන බැවිනි”යි වදාළ සේක.</verse>
				<verse number="30">උන් වහන්සේ මෙසේ කතා කරන අතර, බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගත්හ.</verse>
				<verse number="31">එබැවින්, තමන් වහන්සේ අදහාගත් ජුදෙව්වරුන්ට ජේසුස් වහන්සේ කතා කොට, “ඔබ මාගේ ධර්මයෙහි පිහිටා පවතින්නහු නම්, සැබැවින් ම ඔබ මාගේ ශ්‍රාවකයෝ ය;</verse>
				<verse number="32">ඔබ සත්‍යය අවබෝධ කරගන්නහු ය; සත්‍යය ඔබ නිදහස් කරන්නේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="33">ඔව්හු පිළිතුරු දෙමින්, “අපි ආබ්‍රහම්ගේ වංශයෙන් වම්හ; කිසි කලෙක කිසිවෙකුට අපි වහල් නොවීමු. එබැවින් ‘අප නිදහස් වනු ඇත’ කියා ඔබ කියන්නේ කෙසේ දැ”යි ඇසූ හ.</verse>
				<verse number="34">ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒකාන්තයෙන් මම ඔබට කියමි, පව් කරන හැම කෙනෙක් ම පාපයට වහලෙකි.</verse>
				<verse number="35">වහලෙකුට පවුලේ විසීමට නිත්‍ය හිමිකමක් නැත. එහෙත් පුත්‍රයෙකුට නිත්‍ය හිමිකමක් ඇත.</verse>
				<verse number="36">එබැවින් පුත්‍රයාණෝ ඔබ නිදහස් කරන සේක් නම්, ඔබ සැබැවින් ම නිදහස් ය.</verse>
				<verse number="37">ඔබ ආබ්‍රහම්ගේ වංශයෙන් පැවත එන බව මම දනිමි. එසේ වුව ද, ඔබ තුළ මාගේ දහමට ඉඩක් නොවන බැවින් ඔබ මා මරන්නට සොයන්නහු ය.</verse>
				<verse number="38">මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි මා දුටු දේ මම පවසමි; ඔබේ පියාගෙන් ඇසූ දේ ඔබ කරන්නහු ය”යි වදාළ සේක.</verse>
				<verse number="39">“අපේ පියාණෝ ආබ්‍රහම් ය”යි ඔව්හු උන් වහන්සේට පිළිතුරු දුන්හ. උන් වහන්සේ ද, “ඔබ ආබ්‍රහම්ගේ දරුවෝ නම් ආබ්‍රහම් කළ ක්‍රියා ඔබත් කරනු ඇත.</verse>
				<verse number="40">එසේ වුව ද, දෙවියන් වහන්සේගෙන් අසා දැනගත් සත්‍යය ප්‍රකාශ කළ මිනිසෙකු වන මා මරන්නට ඔබ සොයන්නහු ය. ආබ්‍රහම් නම් එසේ කෙළේ නැත.</verse>
				<verse number="41">ඔබ කරන්නේ ඔබේ පියාගේ ක්‍රියා ය”යි වදාළ සේක. එවිට ඔව්හු; “අපි අවජාතක දරුවෝ නොවෙමු. අපට ඇත්තේ එක ම පියෙකි; එනම්, දෙවියන් වහන්සේ ම ය”යි කී හ.</verse>
				<verse number="42">ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේ ඔබේ පියාණෝ නම් ඔබ මට ප්‍රේම කරනු ඇත. මන්ද, මම දෙවියන් වහන්සේ කෙරෙන් පහළ වී දැන් මෙහි සිටිමි. මාගේ ම කැමැත්තෙන් මා පැමිණියා නොව, උන් වහන්සේ මා එවා වදාළ සේක.</verse>
				<verse number="43">මා කියන දේ ඔබට අවබෝධ නොවන්නේ මන් ද? මාගේ දහම තේරුම් ගැනීමට ඔබ අපොහොසත් බැවිනි.</verse>
				<verse number="44">ඔබේ පියා යක්ෂයා ය. එබැවින් ඔබේ කැමැත්ත ඔබේ පියාගේ ආශාවන් ඉටු කිරීම ය. මුල සිට ම ඔහු මිනීමරුවෙකි. සත්‍යය ඔහු තුළ පිහිටා නැති බැවින්, ඔහු සත්‍යයෙහි නොපිහිටියේ ය. ඔහු බොරු කියන කල ඔහුගේ නියම ගතියෙන් ම කතා කරයි. මන්ද, ඔහු බොරුකාරයෙකි. ඔහු බොරුවේ පියා ය.</verse>
				<verse number="45">මා ඔබට සත්‍යය පවසන බැවින් ඔබ මා විශ්වාස නොකරන්නහු ය.</verse>
				<verse number="46">පාපය ගැන මට විරුද්ධ ව චෝදනා කළ හැක්කේ ඔබ අතුරෙන් කවරෙකුට ද? මම සත්‍යය පවසන්නෙම් නම්, ඔබ මා විශ්වාස නොකරන්නේ මන් ද?</verse>
				<verse number="47">දෙවියන් වහන්සේගෙන් පැවතෙන තැනැත්තේ දෙවියන් වහන්සේගේ වචන අසයි. ඔබ සවන් නොදෙන්නේ ඔබ දෙවියන් වහන්සේගෙන් නොවන බැවිනැ”යි වදාළ සේක.</verse>
				<verse number="48">ජුදෙව්වරු උත්තර දෙමින්, “ඔබ සමාරියයෙකු බවත්, ඔබට දුෂ්ටාත්මයෙකු ආවේශ වී ඇති බවත් අප කියන විට එය ඇත්ත නොවේ දැ”යි ඇසූ හ.</verse>
				<verse number="49">උන් වහන්සේ එයට පිළිතුරු දෙමින්, “මට දුෂ්ටාත්මයක් ආවේශ වී නැත. මා ගෞරව කරන්නේ මාගේ පියාණන් වහන්සේට ය. එහෙත් ඔබ මට අගෞරව කරන්නහු ය.</verse>
				<verse number="50">එසේ වුව ද, මම මාගේ ම ගෞරවය නොසොයමි. එය සොයන, විනිශ්චය කරන, කෙනෙක් සිටිති.</verse>
				<verse number="51">ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, යමෙක් මාගේ ධර්මය පිළිපදින්නේ නම්, ඔහු කිසි කලෙක මරණය නොදකින්නේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="52">ජුදෙව්වරු කතා කරමින්, “ඔබට දුෂ්ටාත්මයෙකු ආවේශ වී ඇති බව දැන් අපි දනිමු. ආබ්‍රහම් මියගියේ ය; දිවැසිවරයෝ ද මියගියහ. එහෙත් ඔබ, ‘යමෙක් මාගේ ධර්මය පිළිගන්නේ නම්, ඔහු කිසි කලෙක නොමැරෙන්නේ ය’යි කියන්නෙහි ය.</verse>
				<verse number="53">මියගියා වූ අපේ පිය වූ ආබ්‍රහම්ට වඩා ඔබ උතුම් ද? දිවැසිවරයෝ පවා මියගියහ. ඔබ කවරෙකු කියා සිතන්නෙහි දැ”යි ඇසූ හ.</verse>
				<verse number="54">ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මම මට ම ගෞරව කරන්නේ නම්, මාගේ ගෞරවයෙහි වැදගැම්මක් නැත. මට ගෞරව කරන්නේ මාගේ පියාණන් වහන්සේ ය. ඔබේ දෙවියන් වහන්සේ යයි ඔබ කියන්නේ උන් වහන්සේ ගැන ම ය.</verse>
				<verse number="55">ඔබ උන් වහන්සේ නොහඳුනන්නහු ය. එහෙත් මම උන් වහන්සේ හඳුනමි. මම උන් වහන්සේ නොහඳුනමි යි කීවොත්, මමත් ඔබ හා සමාන බොරුකාරයෙක් වන්නෙමි. එහෙත් මම උන් වහන්සේ හඳුනමි; උන් වහන්සේගේ වචනය ද පිළිපදිමි.</verse>
				<verse number="56">ඔබේ පිය වූ ආබ්‍රහම් මාගේ පැමිණීමේ දවස දැකීමට පුල පුලා සිටියේ ය. ඔහු එය දැක ප්‍රීති වී ය”යි වදාළ සේක.</verse>
				<verse number="57">ජුදෙව්වරු පිළිතුරු දෙමින්, “තව ම වයස අවුරුදු පණහක් වත් නැති ඔබ ආබ්‍රහම් දුටුවේ කෙසේ දැ”යි ඇසූ හ.</verse>
				<verse number="58">“ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, ආබ්‍රහම් උපදින්නටත් පෙර මම වෙමි”යි උන් වහන්සේ වදාළ සේක.</verse>
				<verse number="59">ඔව්හු උන් වහන්සේට ගසන පිණිස ගල් අතට ගත්හ. එහෙත් ජේසුස් වහන්සේ රහසිගත ව, දේව මාලිගාවෙන් පිට වී ගිය සේක.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">උන් වහන්සේ වඩිනා කල්හි, උපන් දා සිට අන්ධ වූ මිනිසෙකු දුටු සේක.</verse>
				<verse number="2">“ගුරුදේවයෙනි, මොහු අන්ධ ව ඉපදුණේ මොහු හෝ මොහුගේ දෙමවුපියන් හෝ පව් කළ නිසා දැ”යි ශ්‍රාවකයෝ උන් වහන්සේගෙන් ඇසූ හ.</verse>
				<verse number="3">ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මොහු අන්ධ ව ඉපදුණේ මොහු වත් මොහුගේ දෙමවුපියන් වත් පව් කළ නිසා නොව; දෙවියන් වහන්සේගේ බලය මොහු තුළ ප්‍රකාශ වන පිණිස ය.</verse>
				<verse number="4">දිවා කාලය තිබෙන තුරු මා එවා වදාළ තැනැන් වහන්සේගේ ක්‍රියා අප විසින් කළ යුතු ය. රාත්‍රි කාලය පැමිණෙයි; එවිට කිසිවෙකුට ක්‍රියා කළ නොහැකි ය.</verse>
				<verse number="5">මම ලෝකයෙහි සිටින තුරු ලෝකයේ ආලෝකය වෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="6">මෙසේ කියමින් උන් වහන්සේ බිමට කෙළ පිඬක් ගසා, එයින් මඬ සාදා, ඔහුගේ නෙත්වල ගල්වා,</verse>
				<verse number="7">“ගොස් සිලෝවම් පොකුණෙන් සෝදා ගන්නැ”යි වදාළ සේක. (සිලෝවම් යන්නෙහි අර්ථය ‘එවන ලද්දේ ය’ යනු යි.) එවිට ඔහු ගොස් සෝදාගෙන පෙනීම ලැබ ආපසු පැමිණියේ ය.</verse>
				<verse number="8">අසල්වාසීහු ද, පෙර ඔහු සිඟනු දුටු අය ද, “මේ, අර හිඳගෙන සිඟා කෑ මිනිසා නොවේ දැ”යි ඇසූ හ.</verse>
				<verse number="9">“මේ ඔහු ම ය”යි සමහරු කී හ. “නැත, ඔහු නොවේ, ඔහුට සමාන අන් අයෙකැ”යි වෙනත් අය, කී හ. එහෙත්, “මම ඒ මිනිසා ම ය”යි ඔහු කී ය.</verse>
				<verse number="10">“එසේ නම් නුඹේ ඇස් පෑදුණේ කෙසේ දැ”යි ඔව්හු ඔහුගෙන් ඇසූ හ.</verse>
				<verse number="11">ඔහු පිළිතුරු දෙමින්, “ජේසුස් නම් කෙනෙක් මඬ සාදා මගේ ඇස්වල ගල්වා, ‘සිලෝවම් පොකුණට ගොස් සෝදාගන්නැ’යි මට කී හ. මම ගොස් සෝදාගෙන පෙනීම ලබාගතිමි”යි කී ය.</verse>
				<verse number="12">“ඒ තැනැත්තා කොහේ දැ”යි ඔව්හු ඇසූ හ. “මම නො දනිමි”යි ඔහු කී ය.</verse>
				<verse number="13">ඔව්හු කලින් අන්ධ ව සිටි ඒ තැනැත්තා පරිසිවරුන් වෙතට ගෙන ගියහ.</verse>
				<verse number="14">ජේසුස් වහන්සේ මඬ පිඬක් සාදා ඔහුගේ ඇස් පෑදුවේ සබත් දවසක දී ය.</verse>
				<verse number="15">එබැවින් ඔහුට පෙනීම ලැබුණේ කොහොම දැ යි නැවතත් පරිසිවරු ඔහුගෙන් ඇසූ හ. ඔහු පිළිතුරු දෙමින්, “උන් වහන්සේ මාගේ ඇස්වල මඬ ගැල්වූ සේක: මම සෝදාගතිමි; එවිට පෙනීම ලදිමි”යි කී ය.</verse>
				<verse number="16">එබැවින් පරිසිවරුන්ගෙන් සමහරෙක්, “ඒ මිනිසා සබත් විනය කඩ කරන බැවින් ඔහු දෙවියන් වහන්සේ වෙතින් පැමිණියෙක් නොවේ ය”යි කී හ. එහෙත් අන් සමහරෙක්, “පව්කාර මිනිසෙකුට මෙබඳු හාස්කම් කළ හැක්කේ කෙසේ දැ”යි ඇසූ හ. මෙසේ ඔවුන් අතර භේදයක් ඇති විය.</verse>
				<verse number="17">එබැවින් ඔව්හු නැවතත් අන්ධයාට කතා කොට, “නුඹේ ඇස් පෑදුවේ ඒ මිනිසා නම්, ඔහු ගැන නුඹේ අදහස කුමක් දැ”යි ඇසූ හ. “ඔහු නම් දිවැසිචරයෙකැ”යි හෙතෙම පිළිතුරු දුන්නේ ය.</verse>
				<verse number="18">ඔහු අන්ධ ව සිටි බවත්, පසුව පෙනීම ලැබූ බවත්, පෙනීම ලැබූ මිනිසාගේ දෙමවුපියන් කැඳවා විමසන තුරු විශ්වාස කිරීමට ජුදෙව්වරු මැළි වූ හ.</verse>
				<verse number="19">“මේ මිනිසා ඔබේ පුතා ද? ඇත්තට ම ඔහු අන්ධ ව උපන්නේ ද? එසේ නම් දැන් ඔහුට පෙනෙන්නේ කෙසේ දැ”යි ඔව්හු දෙමවුපියන්ගෙන් ප්‍රශ්න කළහ.</verse>
				<verse number="20">ඔහුගේ මවුපියෝ පිළිතුරු දෙමින්, “මේ අපගේ පුත්‍රයා බව අපි දනිමු, ඔහු අන්ධ ව උපන් බවත් අපි දනිමු.</verse>
				<verse number="21">එහෙත් දැන් ඔහුට පෙනෙන්නේ කොහොම දැ යි අපි නොදනිමු. ඔහුගේ ඇස් පෑදුවේ කවරෙක් ද කියාත් අපි නොදනිමු. ඔහුගෙන් ම අසන්න; දැන් ඔහු තේරෙන වයසැති කෙනෙකි. තමා ගැන ම කතා කරන්නට ඔහුට පුළුවනැ”යි කී හ.</verse>
				<verse number="22">ඔහුගේ දෙමවුපියන් මෙසේ කීවේ ජුදෙව්වරුන්ට බියෙනි. මන්ද, ‘යමෙක් උන් වහන්සේ ක්‍රිස්තුවරයාණෝ යයි ඒත්තුගන්නේ නම් ඔහු ධර්මශාලාවෙන් නෙරපාදැමිය යුතු ය’යි ජුදෙව්වරුන් නියම කරගෙන සිටි හෙයිනි.</verse>
				<verse number="23">ඒ නිසා ඔහුගේ මවුපියෝ, “ඔහු තේරෙන වයසැති කෙනෙකි; ඔහුගෙන් අසන්නැ”යි කී හ.</verse>
				<verse number="24">ඔව්හු අන්ධ ව සිටි මිනිසා නැවතත් ගෙන්වා, “දෙවියන් වහන්සේ ඉදිරියේ ඇත්ත කියන්න; මේ මිනිසා නම් පව්කාරයෙකු බව අපි දනිමු”යයි කී හ.</verse>
				<verse number="25">එවිට ඔහු පිළිතුරු දෙමින්, “ඒ තැනැත්තා පව්කාරයෙක් ද නැද්දැ යි මම නොදනිමි; එහෙත් එක දෙයක් මම දනිමි; මම අන්ධ ව සිටියෙමි, දැන් මට පෙනේ” යයි කී ය.</verse>
				<verse number="26">එවිට ඔව්හු, “ඔහු ඔබට කුමක් කෙළේ ද? ඔබේ ඇස් පැහැදුවේ කොහොම දැ”යි ඔහුගෙන් ඇසූ හ.</verse>
				<verse number="27">ඔහු පිළිතුරු දෙමින්, “මම කලින් ඔබට කීවෙමි, එහෙත් ඔබ මගේ කීම ඇසුවේ නැත. ඔබ එය නැවතත් අසන්නට තැත් කරන්නේ මන් ද? ඔබත් උන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙන්නට අදහස් කරන නිසා වත් දැ”යි ඇසී ය.</verse>
				<verse number="28">ඔව්හු ඔහුට බැණවදිමින්, “ඔබ යි ඔහුගේ ශ්‍රාවකයා; අපි නම් මෝසෙස්ගේ ශ්‍රාවකයෝ වම්හ.</verse>
				<verse number="29">දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කළ බව අපි දනිමු. එහෙත් මේ මිනිසා ගැන නම්, මොහු කොහෙන් වී දැ යි අපි නොදනිමු”යි කී හ.</verse>
				<verse number="30">ඒ මිනිසා පිළිතුරු දෙමින්, “මෙය මහ පුදුමයක්! ඔහු කොතැනින් ආවේ දැ යි ඔබ නොදන්නහු ය; එහෙත් මාගේ ඇස් පෑදුවේ ඔහු ය.</verse>
				<verse number="31">දෙවියන් වහන්සේ පව්කාරයන්ගේ බස් නොඅසන බවත්, දේව භක්තිය ඇති, දේව කැමැත්ත කරන, යමෙකු ඇත්නම් ඔහුගේ බස් අසන බවත් අපි දනිමු.</verse>
				<verse number="32">යම් කිසිවෙකු අන්ධ ව උපන් කෙනෙකුගේ ඇස් පෑදූ බව ලෝකයේ පටන්ගැන්මේ සිට කවදාවත් ඇසූ දෙයක් නොවේ.</verse>
				<verse number="33">මේ තැනැත්තා දෙවියන් වහන්සේ වෙතින් නොපැමිණියෙක් නම් කිසිවක් කරන්නට ඔහුට නොහැකි ය”යි කී ය.</verse>
				<verse number="34">ඔව්හු පිළිතුරු දෙමින්, “උපන් දා සිට ම පාපයේ සිටින ඔබ අපට උගන්වන්නට එන්නෙහි දැ”යි කියා ඔහු ධර්මශාලාවෙන් නෙරපාදැමූ හ.</verse>
				<verse number="35">ඔවුන් ඒ මිනිසා නෙරපාදැමූ බව ජේසුස් වහන්සේට ආරංචි වී, ඔහු හමු වූ පසු, “ඔබ මනුෂ්‍ය-පුත්‍රයාණන් අදහන්නෙහි දැ”යි ඇසූ සේක.</verse>
				<verse number="36">“ස්වාමීනි, ඒ කවරෙක් ද? එතුමා අදහාගන්න පිණිස මට කියන්නැ”යි ඔහු යැදී ය.</verse>
				<verse number="37">“ඔබ එතුමා දැක ඇත; දැන් ඔබ සමඟ කතා කරන තැනැත්තේ එතුමා ය”යි පිළිතුරු දුන් සේක.</verse>
				<verse number="38">ඔහු ද, “ස්වාමීනි, මම අදහමි”යි කියා පසඟ පිහිටුවා උන් වහන්සේට වැන්දේ ය.</verse>
				<verse number="39">ජේසුස් වහන්සේ කතා කොට: “මා මෙලොවට වැඩියේ විනිශ්චය සඳහා ය. එයින්, පෙනීම නැත්තන්ට පෙනීම ඇති වනු ඇත, පෙනීම ඇත්තන්ට පෙනීම නැති වනු ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="40">උන් වහන්සේ සමඟ සිටි පරිසිවරුන්ගෙන් ඇතැමෙක් එය අසා, “අපිත් අන්ධයෝ දැ?”යි උන් වහන්සේගෙන් ඇසූ හ.</verse>
				<verse number="41">උන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ අන්ධ ව සිටියා නම් ඔබට පාපයක් නැත. එහෙත් දැන් ‘අපට පෙනේ ය’යි ඔබ කියන නිසා ඔබේ පාපය එසේ ම පවතී ය”යි ඔවුන්ට වදාළ සේක.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">ජේසුස් වහන්සේ කතා කරමින්, “ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, දොරටුවෙන් බැටළු ගාලට ඇතුළු නොවී අන් තැනකින් නැඟී පැන එන්නා සොරෙක් ද කොල්ලකන්නෙක් ද වේ.</verse>
				<verse number="2">එහෙත් දොරටුවෙන් ඇතුළු වෙන්නා බැටළුවන්ගේ එඬේරා ය.</verse>
				<verse number="3">දොරටු පාලයා ඔහුට දොර හරියි; බැටළුවෝ ඔහුගේ කටහඬ අඳුනති. ඔහු තමාගේ ම බැටළුවන්ට නම් කියා අඬගසා උන් පිටතට ආ විට,</verse>
				<verse number="4">උන්ට පෙරටුව යයි; බැටළුවෝ ද ඔහුගේ කටහඬ අඳුනන බැවින් ඔහු පසුපස්සේ යති.</verse>
				<verse number="5">එහෙත් බැටළුවෝ අමුත්තෙකු පසුපස්සේ නොයති; එපමණක් නොව, ඔහු වෙතින් පලා යති. මන්ද, උන් අමුත්තන්ගේ කටහඬ නාඳුනන බැවිනි”යි වදාළ සේක.</verse>
				<verse number="6">ජේසුස් වහන්සේ මේ උපමාව ඔවුන්ට වදාළ නමුත්, එයින් කුමක් අදහස් කළ සේක් දැ යි ඔව්හු තේරුම් නොගත්හ.</verse>
				<verse number="7">එහෙයින්, යළිත් ජේසුස් වහන්සේ ඔවුන් අමතා, “ඒකාන්තයෙන් ම මම ඔබට කියමි. බැටළුවන්ට දොරටුව මම ය.</verse>
				<verse number="8">මට පළමුව ආ සියල්ලෝ ම සොරු ද කොල්ලකන්නෝ ද වෙති. බැටළුවෝ ඔවුන්ට ඇහුම්කන් නුදුන්හ.</verse>
				<verse number="9">දොරටුව මම ය; මා තුළින් යමෙක් ඇතුළු වන්නේ ද ඔහු ගළවනු ලැබ ඇතුළට හා පිටතට ගොස් ආහාර ලබන්නේ ය.</verse>
				<verse number="10">සොරා එන්නේ සොරකම් කරන්නටත්, මරන්නටත්, විනාශ කරන්නටත් පමණකි. මා පැමිණියේ ඔවුන් හට ජීවනය ලැබෙන පිණිස ය. සපුරා ම එය ලැබෙන පිණිස ය.</verse>
				<verse number="11">“යහපත් එඬේරා මම වෙමි. යහපත් එඬේරා, තම ජීවිතය බැටළුවන් උදෙසා පූජා කරන්නේ ය.</verse>
				<verse number="12">එඬේරෙකු නොවන, එසේ ම බැටළුවන්ගේ අයිතිකාරයා ද නොවන කුලීකාරයා, වෘකයා එනු දැක බැටළුවන් හැරදමා පලා යන්නේ ය. වෘකයා ද උන් වෙත කඩා පැන විසුරුවා හරින්නේ ය.</verse>
				<verse number="13">ඔහු පලා යන්නේ ඔහු කුලීකාරයෙකු වන නිසාත්, බැටළුවන් ගැන සැලකිල්ලක් ඔහුට නැති නිසාත් ය.</verse>
				<verse number="14">“යහපත් බැටළු එඬේරා මම වෙමි; මම මගේ බැටළුවන් අඳුනමි; ඔව්හු ද මා අඳුනති.</verse>
				<verse number="15">පියාණන් වහන්සේ මා ද, මා පියාණන් වහන්සේ ද අඳුනන්නාක් මෙන්, මම මාගේ බැටළුවන් අඳුනමි. බැටළුවන් උදෙසා මාගේ දිවි පුදමි.</verse>
				<verse number="16">තවද, මේ රැළට අයිති නොවූ අන් බැටළුවෝ ද මට ඇත්තාහ. මා ඔවුන් ද ගෙන ආ යුතු ය. ඔව්හු මාගේ හඬට ඇහුම්කන් දෙති. මෙසේ එක රැළක් ද එක එඬේරෙක් ද වන්නාහ.</verse>
				<verse number="17">“මා පියාණන් මට ප්‍රේම කරන්නේ, මා නැවත ලබන පිණිස මාගේ දිවි පුදන බැවිනි.</verse>
				<verse number="18">කිසිවෙක් එය මගෙන් පැහැර නොගනිති. මාගේ ම කැමැත්තෙන් මම එය පුදමි. එය පුදන්නට මට බලය තිබේ. එය යළි ලබන්නට ද මට බලය තිබේ. මේ නියමය මාගේ පියාණන් වහන්සේගෙන් ම ලදිමි”යි වදාළ සේක.</verse>
				<verse number="19">මේ වදන් නිසා ජුදෙව්වරුන් අතර නැවත භේදයක් හටගත්තේ ය.</verse>
				<verse number="20">ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්, “ඔහුට දුෂ්ටාත්මයක් වැහී ඇත; සිහිවිකල වී ඇත; ඔහුට කන්දෙන්නේ කුමට දැ”යි කී හ.</verse>
				<verse number="21">“මේවා දුෂ්ටාත්මාවේශ වූවකුගේ කීම් නොවේ; අන්ධයන්ගේ ඇස් පහදන්නට දුෂ්ටාත්මයකට පුළුවන් දැ”යි සෙසු අය කී හ.</verse>
				<verse number="22">එකල ජෙරුසලමේ, කැප කිරීමේ මංගල්‍යය පවත්වනු ලැබී ය.</verse>
				<verse number="23">ඒ ශීත සෘතුව විය. ජේසුස් වහන්සේ දේව මාලිගාවේ සලමොන්ගේ ද්වාර මණ්ඩපයේ සක්මන් කරමින් සිටි සේක.</verse>
				<verse number="24">එබැවින් ජුදෙව්වරු පැමිණ උන් වහන්සේ වටකරගෙන, “ඔබ කොතෙක් කල් අප සැක පිට තබන සේක් ද? ඔබ ක්‍රිස්තුවරයාණෝ නම් පැහැදිලි ලෙස අපට කිව මැනවැ”යි කී හ.</verse>
				<verse number="25">ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබට මම කීවෙමි; එහෙත් ඔබ විශ්වාස නොකරන්නහු ය. මාගේ පියාණන් වහන්සේගේ නාමයෙන් මා කරන ක්‍රියාවෝ ම මා ගැන සාක්ෂි දෙති.</verse>
				<verse number="26">එහෙත්, ඔබ මාගේ බැටළුවන් නොවන බැවින්, මා විශ්වාස නොකරන්නහු ය.</verse>
				<verse number="27">මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති. මම ද ඔවුන් අඳුනමි; ඔව්හු ද මා පසුපස්සේ එති.</verse>
				<verse number="28">මම ඔවුන්ට සදාතන ජීවනය දෙමි. ඔව්හු කිසි කලෙකත් විනාශ නොවෙති. කිසිවෙක් ඔවුන් මා අතින් පැහැර නොගනිති.</verse>
				<verse number="29">ඔවුන් මා හට දෙවා වදාළ මාගේ පියාණන් වහන්සේ සියල්ලන්ට ම වඩා ශ්‍රේෂ්ඨ ය. පියාණන් වහන්සේගේ අතින් ඔවුන් පැහැර ගන්නට කිසිවෙකුට නොහැකි ය.</verse>
				<verse number="30">මාත් මාගේ පියාණන් වහන්සේත් එක ම ය”යි වදාළ සේක.</verse>
				<verse number="31">උන් වහන්සේට ගසන්නට ජුදෙව්වරු නැවත ගල් අතට ගත්හ.</verse>
				<verse number="32">එවිට ජේසුස් වහන්සේ කතා කොට, “පියාණන් වහන්සේ කරණකොටගෙන බොහෝ යහපත් ක්‍රියා ඔබට දැක්වීමි. එයින් කවර ක්‍රියාවක් නිසා ඔබ මට ගල් ගසන්නහු දැ”යි ඇසූ සේක.</verse>
				<verse number="33">ජුදෙව්වරු උන් වහන්සේට පිළිතුරු දෙමින්, “අප ඔබට ගල් ගසන්නේ යහපත් ක්‍රියාවක් නිසා නොව, ඔබ කළ දේවාපහාසය නිසා ය; මිනිසෙකු වන ඔබ දෙවියන් වහන්සේ වෙන්නට බලන නිසා ය”යි කී හ.</verse>
				<verse number="34">ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ ‘ඔබ දෙවිවරු ය’යි කීමි යි ඔබේ ව්‍යවස්ථාවලියේ ලියා තිබෙනවා නොවේ ද?</verse>
				<verse number="35">එය ප්‍රතික්ෂේප කළ නොහැකි ය. ඒ ශුද්ධ ලියවිල්ලේ කියා ඇති පරිදි, දෙවියන් වහන්සේගේ වචනය දෙනු ලැබූවන්ට දෙවිවරු යයි උන් වහන්සේ වදාළ සේක. ඒ ශුද්ධ ලියවිල්ල ප්‍රතික්ෂේප කළ නොහැකි ය.</verse>
				<verse number="36">එසේ නම්, දෙවියන් වහන්සේ විසින් කැප කරනු ලැබ ලොවට එවන ලද තැනැත්තා වන මා ‘මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා’යි කී නිසා, ‘ඔබ දේවාපහාස කරන්නෙහි ය’යි මා ගැන කියන්නහු ද?</verse>
				<verse number="37">මම මාගේ පියාණන් වහන්සේගේ ක්‍රියා නොකරම් නම්, මා විශ්වාස නොකරන්න.</verse>
				<verse number="38">එහෙත් මම ඒවා කරම් නම්, ඔබ මා විශ්වාස නොකරතත්, මාගේ ක්‍රියා විශ්වාස කර පියාණන් වහන්සේ මා තුළ ද, මා පියාණන් වහන්සේ තුළ ද සිටින බව අවසාන වශයෙන් දැනගන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="39">නැවතත් ඔව්හු උන් වහන්සේ අල්ලාගන්නට උත්සාහ කළහ. එහෙත් උන් වහන්සේ ඔවුන් අතින් මිදී ගිය සේක.</verse>
				<verse number="40">උන් වහන්සේ ජොර්දානෙන් එගොඩ ජොහන් පළමුවෙන් බව්තීස්ම-ස්නාපනය කරමින් සිටි ස්ථානයට යළිත් ගොස්, එහි නැවතී සිටි සේක.</verse>
				<verse number="41">බොහෝ දෙනෙක් උන් වහන්සේ වෙතට පැමිණ: “ජොහන් කිසි හාස්කමක් නොකළ නමුත් ජේසුස් වහන්සේ ගැන ජොහන් කී සියල්ල ම සැබෑ ය”යි කී හ.</verse>
				<verse number="42">එහි දී බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගත්හ.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">මරියා සහ ඇගේ සොහොයුරිය වූ මාර්තාගේ ගම වන බෙතානියෙහි ලාසරස් නම් එක්තරා මිනිසෙක් අසනීපයෙන් සිටියේ ය.</verse>
				<verse number="2">මේ මරියා වනාහි, සමිඳාණන් වහන්සේ සුවඳ විලේපනයෙන් ආලේප කර, සිය හිසකේවලින් උන් වහන්සේගේ පාද පිස දැමූ තැනැත්තිය ය. රෝගාතුර ව සිටි ලාසරස් ඇගේ සහෝදරයා ය.</verse>
				<verse number="3">එබැවින් ඒ සොහොයුරියෝ, “ස්වාමීනි, ඔබගේ හිතමිතුරා අසනීපයෙන් සිටී ය”යි උන් වහන්සේට දන්වා යැවූ හ.</verse>
				<verse number="4">ඒ ඇසූ කල ජේසුස් වහන්සේ කතා කොට, “මේ රෝගය මරණයෙන් කෙළවර වන්නක් නොවේ; මෙය දේව මහිමය සඳහා ය; මෙයින් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ මහිමයට පමුණුවනු ලබන සේකැ”යි වදාළ සේක.</verse>
				<verse number="5">ජේසුස් වහන්සේ මාර්තාට ද ඇගේ සොහොයුරියට ද ලාසරස්ට ද ප්‍රේම කළ සේක.</verse>
				<verse number="6">එහෙත් ඔහු අසනීපයෙන් සිටින බව උන් වහන්සේට සැළ වූ පසු, තමන් සිටි ස්ථානයෙහි ම දෙදිනක් නතර වී සිටි සේක.</verse>
				<verse number="7">ඉන්පසු උන් වහන්සේ ශ්‍රාවකයන් අමතා, “අපි යළිත් ජුදා දේශයට යමු”යි වදාළ සේක.</verse>
				<verse number="8">ශ්‍රාවකයෝ ද, “ගුරුදේවයෙනි, මේ ළඟ දී ජුදෙව්වරු ඔබට ගල් ගසන්නට මාන බැලූ හ. ඉදින් ඔබ නැවතත් එහි වඩින සේක් දැ”යි ඇසූ හ.</verse>
				<verse number="9">ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “දිවා කාලයට දොළොස් පැයක් තිබෙනවා නොවේ ද? යමෙක් දවල් කාලයෙහි ඇවිදින්නේ නම්, මෙලොව එළිය ඔහුට පෙනෙන බැවින් ඔහු නොපැකිළෙයි.</verse>
				<verse number="10">එහෙත් යමෙක් රාත්‍රි කාලයෙහි ඇවිදින්නේ නම්, ඔහු තුළ එළිය නැති නිසා ඔහු පැකිළේ ය”යි පැවසූ ජේසුස් වහන්සේ නැවතත් ඔවුන් අමතා,</verse>
				<verse number="11">“අප හිතමිත්‍ර ලාසරස් සැතපී සිටියි; ඔහු පුබුදුවන පිණිස යන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="12">එවිට ශ්‍රාවකයෝ කතා කොට, “ස්වාමීනි, ඔහු සැතපී සිටී නම් ඔහුට සුව වනු ඇතැ”යි කී හ.</verse>
				<verse number="13">සැතපීම යන්නෙන් ජේසුස් වහන්සේ අදහස් කෙළේ ලාසරස්ගේ මරණය ය. එහෙත් ඔවුන් එය තේරුම්ගත්තේ නිදාගැන්ම යනුවෙනි.</verse>
				<verse number="14">එබැවින් ජේසුස් වහන්සේ පැහැදිලි ලෙස කතා කරමින්, “ලාසරස් මියගොස් ඇත.</verse>
				<verse number="15">ඔබ විශ්වාස කරන පිණිස, ඔබගේ ම යහපත සඳහා, මා එහි නොසිටීම ගැන ප්‍රීති වෙමි. එසේ වී නමුත්, අපි ඔහු වෙතට යමු”යි වදාළ සේක.</verse>
				<verse number="16">‘නිවුන්නා’ යයි නම් ලත් තෝමස් අනෙක් ශ්‍රාවකයන් අමතා, “උන් වහන්සේ සමඟ නසින පිණිස අපිත් යමු”යි කී හ.</verse>
				<verse number="17">ජේසුස් වහන්සේ වැඩම කළ විට, ලාසරස් සොහොන් ගෙයි තබා එදිනට දින සතරක් වූ බව දැනගත් සේක.</verse>
				<verse number="18">බෙතානිය ජෙරුසලමට ආසන්න ය; දුර කිලෝමීටර් තුනක් පමණ ය.</verse>
				<verse number="19">මාර්තාගේ හා මරියාගේ සහෝදරයාගේ මරණය ගැන අසා, ඔවුන් සනසන පිණිස ජුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් පැමිණ සිටියහ.</verse>
				<verse number="20">ජේසුස් වහන්සේ වඩින බව මාර්තාට ආරංචි වූ විට, ඈ උන් වහන්සේ හමුවන්නට පෙරමඟට ගියා ය. එහෙත් මරියා ගෙදර නැවතී සිටියා ය.</verse>
				<verse number="21">මාර්තා කතා කරමින්, “ස්වාමීනි, ඔබ වහන්සේ මෙහි සිටි සේක් නම් මාගේ සහෝදරයා මැරෙන්නේ නැත.</verse>
				<verse number="22">දැන් වුවත් ඔබ දෙවියන් වහන්සේගෙන් යමක් ඉල්ලුවොත්, දෙවියන් වහන්සේ ඔබට එය දෙන බව මම දනිමි”යි කීවා ය.</verse>
				<verse number="23">“ඔබේ සහෝදරයා නැවත නැඟිටින්නේ ය”යි ජේසුස් වහන්සේ ඇයට වදාළ සේක.</verse>
				<verse number="24">මාර්තා පිළිතුරු දෙමින්, “අන්තිම දවසේ, පුනරුජ්ජීවනයේ දී ඔහු නැවත නැඟිටින බව මම දනිමි”යි කීවා ය.</verse>
				<verse number="25">ජේසුස් වහන්සේ කතා කරමින්, පුනරුජ්ජීවනය ද, ජීවනය ද මම වෙමි; මා අදහාගන්නා මැරුණත් ජීවත් වන්නේ ය;</verse>
				<verse number="26">ජීවත් ව සිටින, මා අදහාගන්න කිසිවෙක් කිසි කලෙක නො මැරෙන්නේ ය. ඔබ මෙය අදහන්නෙහි දැ”යි ඇසූ සේක.</verse>
				<verse number="27">ඈ පිළිතුරු දෙමින්, “ඔබ ක්‍රිස්තුවරයාණන් බවත්, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් බවත්, ලෝකයට වැඩම කරන්නට සිටි තැනැන් වහන්සේ බවත් මම අදහමි”යි කීවා ය.</verse>
				<verse number="28">මාර්තා මෙසේ පවසා, ගොස්, ඇගේ සොහොයුරිය වූ මරියා කැඳවා, “ගුරුදේවයාණෝ වැඩම කර සිටිති; උන් වහන්සේ ඔබ කැඳවති”යි රහසින් කීවා ය.</verse>
				<verse number="29">ඈ ඒ අසා නැඟිට වහා ම උන් වහන්සේ වෙතට ගියා ය.</verse>
				<verse number="30">ඒ වන තුරු ජේසුස් වහන්සේ ගමට ඇතුළු නොවී, උන් වහන්සේට මාර්තා හමු වූ ස්ථානයෙහි ම නතර වී සිටි සේක.</verse>
				<verse number="31">එවිට මරියා සනසමින් ඈ සමඟ ගෙයි සිටි ජුදෙව්වරු, ඈ විගස නැඟිට බැහැර යනු දැක, ඈ හඬන පිණිස සොහොන් ගේ ළඟට යන්නී යයි සිතා ඈ පස්සේ ගියහ.</verse>
				<verse number="32">මරියා ජේසුස් වහන්සේ සිටි තැනට අවුත්, උන් වහන්සේ දුටු කෙණෙහි පාමුල වැටී, “ස්වාමීනි, ඔබ වහන්සේ මෙහි සිටි සේක් නම් මාගේ සහෝදරයා මැරෙන්නේ නැතැ”යි කීවා ය.</verse>
				<verse number="33">ජේසුස් වහන්සේ, ඈ ද ඈ සමඟ ආ ජුදෙව්වරුන් ද හඬනු දැක, සිතින් සුසුම්ලා කැළඹී,</verse>
				<verse number="34">“ඔහු කොතැන තැන්පත් කළාහු දැ”යි ඇසූ සේක. “ස්වාමීනි, ඇවිත් බැලුව මැනැවැ”යි ඔව්හු කී හ.</verse>
				<verse number="35">ජේසුස් වහන්සේ හැඬු සේක.</verse>
				<verse number="36">එබැවින් ජුදෙව්වරු, “බලන්න, උන් වහන්සේ මොහුට ප්‍රේම කළ තරම ය”යි කී හ.</verse>
				<verse number="37">එහෙත් ඔවුන්ගෙන් සමහරෙක්, “අන්ධයාගේ ඇස් පෑදුවේ උන් වහන්සේ නොවෙත් ද? එසේ නම්, මේ මිනිසාගේ මරණය වළක්වන්නට උන් වහන්සේට නොහැකි වී දැ”යි කී හ.</verse>
				<verse number="38">එවිට, නැවතත් ජේසුස් වහන්සේ අතිශයින් කැළඹී, සොහොන් ගේ ළඟට පැමිණි සේක. එය වනාහි ගල් ගුහාවකි. එහි කට ගලකින් වසා තිබිණි.</verse>
				<verse number="39">“ගල ඉවත් කරන්නැ”යි ජේසුස් වහන්සේ වදාළ සේක. “ස්වාමීනි, ඔහු මියගොස් සතර දිනකි, දැන් දුගඳත් ඇතැ”යි මළ තැනැත්තාගේ සොහොයුරියක වූ මාර්තා කීවා ය.</verse>
				<verse number="40">ජේසුස් වහන්සේ කතා කොට, “ඔබට ඇදහිල්ල ඇත්නම් ඔබ දෙවියන් වහන්සේගේ තේජශ්‍රීය අත්දකින බව මා කීවා නොවේ දැ”යි ඈට වදාළ සේක.</verse>
				<verse number="41">එවිට ඔව්හු ගල ඉවත් කළහ. ජේසුස් වහන්සේ ඇස් ඔසවා, “පියාණෙනි, ඔබ මට සවන් දුන් නිසා මම ඔබට ස්තුති කරමි.</verse>
				<verse number="42">සැමවිට ම ඔබ මට සවන් දෙන බව මම දැන සිටියෙමි. එහෙත් මා මේ දේ කීවේ ඔබ මා එවා වදාළ බවට අවට සිටින සමූහයා අදහාගන්න පිණිස ය”යි වදාළ සේක.</verse>
				<verse number="43">උන් වහන්සේ මෙසේ කියා, “ලාසරස් පිටතට එන්නැ”යි මහ හඬින් වදාළ සේක.</verse>
				<verse number="44">මැරී සිටි තැනැත්තා පිටතට ආවේ ය; ඔහුගේ අත් පා රෙදි පටිවලින් වෙළා තිබුණේ ය; මුහුණ රෙදි කඩකින් ඔතා තිබුණේ ය. “මොහුගේ බැමි ලිහා, යන්නට හරින්නැ”යි ජේසුස් වහන්සේ වදාළ සේක.</verse>
				<verse number="45">මරියා වෙතට ආ ජුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් ජේසුස් වහන්සේ කළ දේ දැක උන් වහන්සේ අදහාගත්හ.</verse>
				<verse number="46">එහෙත් ඔවුන්ගෙන් ඇතැමෙක් පරිසිවරුන් වෙතට ගොස් ජේසුස් වහන්සේ කළ දේවල් ඔවුන්ට සැළ කළහ.</verse>
				<verse number="47">එවිට නායක පූජකයෝ ද, පරිසිවරු ද ශ්‍රේෂ්ඨාධිකරණය රැස් කරවා, “අපි කුමක් කරමු ද? මේ මිනිසා බොහෝ හාස්කම් කරයි.</verse>
				<verse number="48">අප ඔහුට මෙසේ ඉඩ හැරියොත්, සියල්ලන් ම ඔහු අදහාගනු ඇත. එවිට රෝමවරුන් පැමිණ අපේ ශුද්ධස්ථානයත්, අපේ ජාතියත් වනසනු ඇතැ”යි කී හ.</verse>
				<verse number="49">ඔවුන්ගෙන් එක් කෙනෙක් වූ, ඒ අවුරුද්දේ උත්තම පූජකයා වූ කායාපස් කතා කොට,</verse>
				<verse number="50">“ඔබ දන්නා දෙයක් නැත; මුළු ජාතියේ විනාශයට වඩා, ජනතාව උදෙසා එක මිනිසෙකුගේ මරණය යෝග්‍ය බව ඔබට තේරෙන්නේ නැතැ”යි කී ය.</verse>
				<verse number="51">මෙය ඔහු ම හිතා කී දෙයක් නොවේ. ඒ වනාහි, ඔහු ඒ අවුරුද්දට උත්තම පූජකයා ව සිටි බැවින්, ජේසුස් වහන්සේ ජාතිය උදෙසා ද,</verse>
				<verse number="52">ජාතිය උදෙසා පමණක් නොව, දෙවියන් වහන්සේගේ විසිරී ගිය දරුවන් එක්රැස් කරන පිණිස ද, දිවි පිදිය යුතු බවට ඔහු පැවසූ දිවැසි කීමකි.</verse>
				<verse number="53">එබැවින් එදා පටන් ඔව්හු උන් වහන්සේ මරන්නට කුමන්ත්‍රණය කළහ.</verse>
				<verse number="54">ඒ නිසා ජේසුස් වහන්සේ ජුදෙව්වරුන් අතරෙහි තවත් ප්‍රසිද්ධියේ නොගැවසී, එයින් ඉවත් ව පාළුකරයට යාබද පෙදෙසෙහි, එප්‍රායිම් නම් නුවරට වැඩම කර ශ්‍රාවකයන් සමඟ එහි නැවතී සිටි සේක.</verse>
				<verse number="55">එකල ජුදෙව්වරුන්ගේ පාස්කු මංගල්‍යය ළං ව තිබිණි. මංගල්‍යයට තම තමන් පවිත්‍ර කරගන්නා පිණිස බොහෝ දෙනෙක් පිටිසරින් නික්ම ජෙරුසලමට ගියහ.</verse>
				<verse number="56">එවිට, ඔව්හු ජේසුස් වහන්සේ සොයමින් දේව මාලිගාවේ සිටිය දී, “ඔබ කුමක් සිතන්නහු ද? ඔහු මංගල්‍යයට නෑවිත් සිටී දැ”යි ඔවුනොවුන් අතර කතා කරගත්හ.</verse>
				<verse number="57">උන් වහන්සේ සිටින තැන යමෙක් දනිතොත්, අත්අඩංගුවට ගන්නා පිණිස, ඒ බව දන්වන මෙන් නායක පූජකයන් හා පරිසිවරුන් විසින් අණ දී තිබිණි.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">ජේසුස් වහන්සේ පාස්කු මංගල්‍යයට සදවසකට පෙර, උන් වහන්සේ විසින් මරණයෙන් උත්ථාන කරන ලද ලාසරස් විසූ බෙතානියට වැඩම කළ සේක.</verse>
				<verse number="2">ඔව්හු උන් වහන්සේට එහි භෝජන සංග්‍රහයක් පිළියෙළ කළහ. මාර්තා උපස්ථාන කළා ය; ලාසරස් උන් වහන්සේ සමඟ කෑමට හිඳගත් අයගෙන් කෙනෙකි.</verse>
				<verse number="3">එවිට මරියා ඉතා වටිනා සුවඳ විලවුන් ලීටර් භාගයක් රැගෙන, උන් වහන්සේගේ පාද ආලේප කොට, ඇගේ කෙස් කළඹින් පිසදැමුවා ය. එහි සුවඳින් ගෙය පිරීගියේ ය.</verse>
				<verse number="4">එවිට, උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක් වූ, උන් වහන්සේ පාවා දීමට සිටි, ජූදස් ඉස්කාරියොත් කතා කොට,</verse>
				<verse number="5">“මේ විලවුන් රිදී කාසි තුන් සියයකට විකුණා දිළිඳුන්ට නුදුන්නේ මන් දැ?”යි ඇසී ය.</verse>
				<verse number="6">ඔහු මෙසේ කීවේ දිළිඳුන් ගැන කැක්කුමක් තිබුණ නිසා නොව, ඔහු සොරෙකු වූ බැවිනි. පොදු මුදල් පසුම්බිය භාර ව සිටි ඔහු, එහි දමන ලද දේ සොරාගන්නට පුරුදු ව සිටියේ ය.</verse>
				<verse number="7">ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඈට කරදර නොකරන්න. මා භූමදාන කරන දවස සඳහා ඈ එය තබාගත්තාවේ.</verse>
				<verse number="8">දිළින්දෝ නම් ඔබ සමඟ නිතර ම සිටිති; එහෙත් මම ඔබ සමඟ නිතර ම නොසිටිමි”යි වදාළ සේක.</verse>
				<verse number="9">ජුදෙව්වරුන්ගෙන් මහා සමූහයක් ජේසුස් වහන්සේ එහි සිටින බව අසා උන් වහන්සේ දැකීමට පමණක් නොව, උන් වහන්සේ විසින් මරණයෙන් උත්ථාන කරන ලද ලාසරස් දැකීමට ද පැමිණියහ.</verse>
				<verse number="10">එබැවින්, ලාසරස් ද මරන්නට නායක පූජකයෝ කුමන්ත්‍රණය කළහ.</verse>
				<verse number="11">මන්ද, ඔහු නිසා ජුදෙව්වරුන් බොහෝ දෙනෙකු ඔවුන්ගෙන් අහක් ව ගොස් ජේසුස් වහන්සේ අදහාගත් නිසා ය.</verse>
				<verse number="12">පසුදා, මංගල්‍යයට පැමිණ සිටි මහා සමූහයක් ජේසුස් වහන්සේ ජෙරුසලමට වඩිනා සේකැ යි අසා,</verse>
				<verse number="13">තල් අතු රැගෙන: “හෝසන්නා! සමිඳාණන්ගේ නාමයෙන් වඩිනා තැනැන් වහන්සේට ආසිරි වේ වා! ඉශ්රායෙල් රජු හට ආසිරි වේ වා!”යි ඔල්වර හඬ නඟමින් උන් වහන්සේගේ පෙරමඟට පැමිණියහ.</verse>
				<verse number="14">“සියොන් පුරඟන, බිය නොවන්න, මෙන්න! ඔබේ රජ කොටළු වස්සකු පිට නැඟ එන්නේ ය”යි ලියා තිබෙන ලෙස, උන් වහන්සේ කොටළු නාම්බෙකු සොයාගෙන ඌ පිට හිඳගත් සේක.</verse>
				<verse number="15">***</verse>
				<verse number="16">උන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ සිද්ධිය කලින් තේරුම් නොගත් නමුත්, ජේසුස් වහන්සේ මහිම ප්‍රාප්ත වූ විට, උන් වහන්සේ ගැන මෙසේ ලියා තිබුණු බවත්, සෙනඟ මේ සියල්ල උන් වහන්සේ උදෙසා කළ බවත් සිහි කළහ.</verse>
				<verse number="17">උන් වහන්සේ ලාසරස් සොහොන් ගෙයින් පිටතට කැඳවා, ඔහු මරණයෙන් උත්ථාන කළ අවස්ථාවේ දී උන් වහන්සේ සමඟ සිටි සමූහයා ඒ ගැන සාක්ෂි දැරූ හ.</verse>
				<verse number="18">සමූහයා උන් වහන්සේගේ පෙරමඟට ගියේ උන් වහන්සේ මේ හාස්කම කළ බව ඔවුන්ට සැළ වූ හෙයිනි.</verse>
				<verse number="19">එබැවින් පරිසිවරු ඔවුනොවුන් අතර කතා කරගනිමින්, “අපට කිසිවක් නොකළ හැකි බව පෙනෙනවා නොවේ ද? බලන්න, මුළු ලෝකය ම ඔහු පසුපස්සේ ගොස් ඇතැ”යි කී හ.</verse>
				<verse number="20">මංගල්‍යයේ දී නමස්කාර කරන පිණිස ගියවුන් අතර, ග්‍රීකයෝ සමහර දෙනෙක් ද සිටියහ.</verse>
				<verse number="21">ඔව්හු, ගලීලයේ බෙත්සයිදාවේ පිලිප් වෙතට පැමිණ, “මහතාණෙනි, අපි ජේසුස් වහන්සේ දකින්නට කැමැත්තෙමු”යි කී හ.</verse>
				<verse number="22">පිලිප් එය ඇන්ඩෘට කී ය; ඇන්ඩෘ ද පිලිප් ද ජේසුස් වහන්සේට සැළ කළහ.</verse>
				<verse number="23">ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මනුෂ්‍ය-පුත්‍රයාණන් මහිමයට පමුණුවනු ලබන නියමිත මොහොත පැමිණ තිබේ.</verse>
				<verse number="24">ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, තිරිඟු බීජය පොළොවෙහි වැටී නොමළොත් එය තනි බීජයක් පමණක් වේ. එහෙත් එය මළොත් සරු ලෙස පල දරයි.</verse>
				<verse number="25">තම ජීවිතයට ඇලුම් කරන්නා එය නැති කරගනියි; මෙලොව තම ජීවිතයට ද්වේශ කරන්නා එය සදාතන ජීවනය සඳහා රැකගනියි.</verse>
				<verse number="26">යමෙක් මට සේවය කරන්නේ ද, ඔහු මා අනුගාමී විය යුතු යි. මම යම් තැනෙක සිටිම් ද මාගේ සේවකයා ද එහි ම සිටිනු ඇත. යමෙක් මට සේවය කරන්නේ ද මාගේ පියාණෝ ඔහුට ගෞරව කරන සේක.”</verse>
				<verse number="27">“දැන් මාගේ සිත කැළඹී ඇත; ඉදින් මම කුමක් කියම් ද? ‘පියාණෙනි, මේ මොහොතෙන් මා ගැළවුව මැනවැ’යි කියම් ද? නැත, මා මේ මොහොතට පැමිණියේ මේ උදෙසා ම ය.</verse>
				<verse number="28">පියාණෙනි, ඔබගේ නාමය මහිමයට පැමිණවුව මැනවැ”යි වදාළ සේක. එවිට, “මම එය මහිමයට පැමිණවීමි, යළිත් මහිමයට පමුණුවන්නෙමි”යි ස්වර්ගයෙන් හඬක් නික්මිණි.</verse>
				<verse number="29">එහි සිටි සමූහයා එය අසා, “ගිගුරුමකැ”යි කී හ. ඇතැමෙක්, “දේව දුතයෙක් උන් වහන්සේට කතා කෙළේ ය”යි කී හ.</verse>
				<verse number="30">ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මේ හඬ පැමිණියේ මා උදෙසා නොව ඔබ උදෙසා ය.</verse>
				<verse number="31">මේ ලෝකය පිළිබඳ විනිශ්චය මොහොත දැන් ය; මේ ලෝකයේ අධිපතියා දැන් පරාජය කරනු ලැබේ.</verse>
				<verse number="32">තවද මා පොළොවෙන් ඔසවනු ලැබූ කල, සියල්ලන් මා වෙතට ඇදගන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="33">උන් වහන්සේ මෙසේ වදාළේ, තමන් වහන්සේ විඳින්නට යන්නේ කෙබඳු මරණයක් දැ යි හඟවන පිණිස ය.</verse>
				<verse number="34">සමූහයා උන් වහන්සේට පිළිතුරු දෙමින්, “ ‘ක්‍රිස්තුවරයාණෝ සදහට ම වැඩවසති’යි ව්‍යවස්ථාවලියෙන් අප අසා ඇත. එසේ නම් මනුෂ්‍ය-පුත්‍රයාණන් ඔසවනු ලැබිය යුතු යයි ඔබ කියන්නේ කෙසේ ද? මේ මනුෂ්‍ය-පුත්‍රයාණෝ කවරෙක් දැ”යි ඇසූ හ.</verse>
				<verse number="35">ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “තව මඳ කලක් ආලෝකය ඔබ අතර පවතිනු ඇත. අන්ධකාරය ඔබ ග්‍රහණය නොකරන පිණිස, ආලෝකය තිබිය දී ඇවිදින්න. අන්ධකාරයේ ඇවිදින තැනැත්තේ ඔහු යන්නේ කොහේ දැ යි නොදනී.</verse>
				<verse number="36">ඔබ ආලෝකයේ පුත්‍රයන් වන පිණිස ඒ ආලෝකය අදහාගන්නැ”යි වදාළ සේක. ජේසුස් වහන්සේ මෙසේ වදාළ පසු ඔවුන්ගෙන් වෙන් වී සැඟවී වැඩහුන් සේක.</verse>
				<verse number="37">උන් වහන්සේ ඔවුන් ඉදිරියේ එපමණ හාස්කම් සිදු කළ නමුදු, ඔවුන් උන් වහන්සේ අදහාගත්තේ නැත.</verse>
				<verse number="38">එසේ සිදුවූයේ: “සමිඳාණෙනි, අපේ පුවත විශ්වාස කෙළේ කවරෙක් ද? සමිඳාණන්ගේ බලය කවරෙකුට ප්‍රකාශ කරන ලද්දේ ද?” යනුවෙන්, යෙසායා දිවැසිවරයා කී වචන ඉටු වන පිණිස ය.</verse>
				<verse number="39">ඒ නිසා ඔවුන්ට අදහාගත නොහැකි විය. මන්ද, යෙසායා නැවතත් මෙසේ කී ය:</verse>
				<verse number="40">
					“උන් වහන්සේ ඔවුන්ගේ ඇස් අන්ධ කළ සේක.
					සිත් දැඩි කළ සේක, එසේ කෙළේ, ඔවුන් ඇසින් නොදැක, සිතින් තේරුම් නොගෙන, මාගෙන් සුවය ලැබීමට මා වෙත නොහැරෙන පිණිස ය.”
				</verse>
				<verse number="41">යෙසායා මෙසේ කීවේ, ඔහු උන් වහන්සේගේ තේජශ්‍රීය දැක උන් වහන්සේ ගැන කතා කළ නිසා ය.</verse>
				<verse number="42">එසේ වුව ද, ප්‍රධානීන්ගෙන් බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගත්හ. එහෙත් තමන් ධර්මශාලාවෙන් නෙරපනු ලබති යි පරිසිවරුන්ට බියෙන් එය එළිපිට නොකී හ.</verse>
				<verse number="43">මන්ද, ඔව්හු දෙවියන් වහන්සේගෙන් ලැබෙන ගෞරවයට වඩා මිනිසුන්ගෙන් ලැබෙන ගෞරවයට ඇලුම් වූ හ.</verse>
				<verse number="44">එවිට ජේසුස් වහන්සේ මහ හඬින් කතා කරමින්, “මා අදහන තැනැත්තේ, මා නොව, මා එවා වදාළ තැනැන් වහන්සේ අදහාගනියි.</verse>
				<verse number="45">එසේ ම මා දකින තැනැත්තේ, මා එවා වදාළ තැනැන් වහන්සේ දකියි.</verse>
				<verse number="46">මා ලෝකයට ආලෝකයක් ව වැඩියේ මා අදහන කවරෙකු නමුදු අන්ධකාරයෙහි නොවසන පිණිස ය.</verse>
				<verse number="47">තවද, යමෙක් මාගේ වචන අසා ඒවා නොපිළිපදින්නේ නම්, මම ඔහු විනිශ්චය නොකරමි. මා ආවේ ලෝකය ගළවන්ට මිස විනිශ්චය කරන්නට නොවේ.</verse>
				<verse number="48">මා ප්‍රතික්ෂේප කර මාගේ වචන නොපිළිගන්නා අය විනිශ්චය කරන්නෙක් සිටියි. මා වදාළ ධර්මය ම අන්තිම දවසේ දී ඔහු විනිශ්චය කරන්නේ ය.</verse>
				<verse number="49">මන්ද, මම මාගේ ම අධිකාරී බලයෙන් කතා නොකෙළෙමි; මා එවා වදාළ පියාණන් වහන්සේ මා කිව යුතු දෙයත්, දෙසිය යුතු දෙයත් ගැන මට ආඥාවක් දී තිබේ.</verse>
				<verse number="50">උන් වහන්සේගේ ආඥාව සදාතන ජීවනය වන බව මම දනිමි. එබැවින් මා පවසන දේ, පියාණන් වහන්සේ මට පැවසූ ලෙසින් ම මමත් පවසමි”යි වදාළ සේක.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">තමන් මෙලොවින් ඉකුත් ව පියාණන් වෙතට යාමේ නියමිත මොහොත පැමිණ තිබෙන බව පාස්කු මංගල්‍යයට පෙර, ජේසුස් වහන්සේ දැනගත් සේක. උන් වහන්සේ මෙලොව තම හිතවතුන්ට ප්‍රේම කළ සේක; අන්තිම දක්වා ම ඔවුන්ට ප්‍රේම කළ සේක.</verse>
				<verse number="2">රාත්‍රි භෝජනය වළඳන වේලාව පැමිණියේ ය. යක්ෂයා උන් වහන්සේ පාවා දීමට සීමොන්ගේ පුත් ජූදස් ඉස්කාරියොත්ගේ සිත ඒ වන විටත් පොළඹවා තිබිණි.</verse>
				<verse number="3">පියාණන් වහන්සේ තමන් අතට සියල්ල පවරා දී තිබෙන බව ද තමන් දෙවියන් වහන්සේ වෙතින් වැඩම කළ බව ද තමන් දෙවියන් වහන්සේ වෙතට වැඩම කරන බව ද දැන,</verse>
				<verse number="4">රාත්‍රි භෝජනයෙන් පසු උන් වහන්සේ නැඟිට තම සළුව ගලවා තබා, තුවායක් ගෙන ඉණ වටා බැඳගත් සේක.</verse>
				<verse number="5">ඉන්පසු උන් වහන්සේ භාජනයකට වතුර වත්කොට, ශ්‍රාවකයන්ගේ පාද සෝදන්නටත්, තමන් ඉණ බැඳගෙන සිටි තුවායෙන් පිසදමන්නටත් පටන්ගත් සේක.</verse>
				<verse number="6">උන් වහන්සේ සීමොන් පේදුරු ළඟට ආ විට, “ස්වාමීනි, ඔබ වහන්සේ මාගේ පාදත් සෝදන සේක් දැ”යි ඔහු ඇසී ය.</verse>
				<verse number="7">ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මා කරන්නේ කුමක් දැ යි ඔබ දැන් නොදන්නෙහි ය; එහෙත් පසුව ඔබට වැටහෙනු ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="8">එවිට පේදුරු, “මා දිවි ඇතිතෙක් කවදාවත් මාගේ පාද සෝදන්නට නම් ඔබ වහන්සේට ඉඩ නොදෙමි”යි කී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මා ඔබ නොසේදුවොත් මා සමඟ සම්බන්ධකමක් ඔබට නැතැ”යි ඔහුට වදාළ සේක.</verse>
				<verse number="9">එවිට සීමොන් පේදුරු, “ස්වාමීනි, මාගේ පාද පමණක් නොව අත් ද හිස ද සේදුව මැනවැ”යි කී ය.</verse>
				<verse number="10">ජේසුස් වහන්සේ ද, “ස්නානය කළ තැනැත්තේ මුළුමනින් ම පවිත්‍ර ය; පාද සේදීම හැර ඔහු තවත් සෝදනු ලබන්න වුවමනා නැත. ඔබ ද පවිත්‍ර ය; එහෙත් හැම කෙනෙක් ම එසේ නොවෙති”යි වදාළ සේක.</verse>
				<verse number="11">“හැම කෙනෙක් ම පවිත්‍ර නොවෙති”යි උන් වහන්සේ වදාළේ, තමන් පාවා දෙන්නා කවරෙක් දැ යි දැන සිටි බැවිනි.</verse>
				<verse number="12">මෙසේ උන් වහන්සේ ඔවුන්ගේ පාද සෝදා, තමන් උතුරු සළුව හැඳගෙන නැවත හිඳගත් කල, ඔවුන්ට මෙසේ වදාළ සේක: “මා ඔබට කළ දේ කිමෙක් දැ යි ඔබ දන්නහු ද?</verse>
				<verse number="13">‘ගුරුදේවයෙනි’, ‘ස්වාමීනි’ කියා ඔබ මා අමතන්නහු ය. එසේ කීම හරි ය; මම එසේ ම වෙමි.</verse>
				<verse number="14">ඔබේ ස්වාමීන් ද ගුරුදේවයන් ද වන මම ඔබේ පාද සේදුවෙම් නම්, ඔබත් එකිනෙකාගේ පාද සේදිය යුතු ය.</verse>
				<verse number="15">මා ඔබට, කළාක් මෙන් ඔබත් කළ යුතු බවට ආදර්ශයක් මම දුනිමි.</verse>
				<verse number="16">ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, දාසයෙක් තම ස්වාමියාට වඩා උසස් නොවේ. එමෙන් ම, යවන ලද්දෙක් ඔහු යවන්නාට වඩා උසස් නොවේ.</verse>
				<verse number="17">ඉදින් ඔබ මේ දේවල් දන්නහු නම්, දැන ඒවා පිළිපදින්නහු නම්, ඔබ භාග්‍යවන්තයෝ ය.</verse>
				<verse number="18">මා කතා කරන්නේ ඔබ හැම දෙනා ගැන ම නොවේ. මා තෝරාගත් අය මම හඳුනමි. එහෙත්, ‘මාගේ භෝජන වළඳන තැනැත්තා මට විරුද්ධ ව නැඟී ඇත’ යන ශුද්ධ ලියවිල්ල ඉෂ්ට විය යුතු ය.</verse>
				<verse number="19">එය ඉටු වූ විට, මම උන් වහන්සේ ම යයි ඔබ විශ්වාස කරන පිණිස එය ඉටු වන්න පෙර දැන් පවසමි.</verse>
				<verse number="20">ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, මා යවන කවරෙකු නමුත් පිළිගන්නා මා පිළිගනියි; මා පිළිගන්නා මා එවා වදාළ තැනැන් වහන්සේ පිළිගනියි.”</verse>
				<verse number="21">ජේසුස් වහන්සේ මෙසේ පවසා, බොහෝ සේ කැළඹී, “ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, ඔබ අතරෙන් කෙනෙක් මා පාවා දෙන්නේ ය”යි ප්‍රකාශ කළ සේක.</verse>
				<verse number="22">උන් වහන්සේ එසේ කීමෙන් කවරෙකු අදහස් කළ සේක් දැ යි වියවුල් වූ ශ්‍රාවකයෝ එකිනෙකා දෙස බැලූ හ.</verse>
				<verse number="23">ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයන් අතරෙන් උන් වහන්සේ ප්‍රේම කළ තැනැත්තා උන් වහන්සේගේ ළයට ළං ව හාන්සි වී සිටියේ ය.</verse>
				<verse number="24">එබැවින් සීමොන් පේදුරු ඔහුට සංඥා කොට, “උන් වහන්සේ කවරෙකු අදහස් කළ සේක් දැ යි කිව මැනැවැ”යි ඔහුට කී ය.</verse>
				<verse number="25">ඔහු ද, සිටි ලෙස ම ජේසුස් වහන්සේගේ ළයට නැඹුරු වී, “ස්වාමීනි, ඒ කවුරු දැ”යි ඇසී ය.</verse>
				<verse number="26">එවිට උන් වහන්සේ පිළිතුරු දෙමින්, “මම රොටි කෑල්ලක් පොඟවා යමෙකුට දෙම් ද, ඒ ඔහු ය”යි වදාළ සේක. මෙසේ උන් වහන්සේ ඒ කෑල්ල පොඟවා සීමොන් ඉස්කාරියොත්ගේ පුත් ජූදස්ට දුන් සේක.</verse>
				<verse number="27">ඔහු ඒ කෑල්ල අතට ගත් විගස ඔහුට සාතන් ආවේශ විය. එවිට ජේසුස් වහන්සේ ඔහු අමතා, “ඔබේ අදහස වහා ම ඉටු කරන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="28">උන් වහන්සේ කුමක් නිසා මෙසේ වදාළ සේක් දැ යි කෑමට හිඳගත් අයගෙන් කිසිවෙක් තේරුම් නොගත්හ.</verse>
				<verse number="29">ජූදස් පොදු මුදල් පසුම්බිය භාර ව සිටි බැවින්, මංගල්‍යයට වුවමනා දේ මිල දී ගන්න කියා හෝ දිළිඳුන්ට යමක් දෙන්න කියා හෝ ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේකැ යි සමහරු සිතූ හ.</verse>
				<verse number="30">ඔහු ඒ රොටි කෑල්ල අතට ගත් පසු, නොපමා ව පිටතට ගියේ ය. එය රෑ කාලය වී ය.</verse>
				<verse number="31">ජූදස් පිටතට ගිය කල, ජේසුස් වහන්සේ කතා කොට, “දැන් මනුෂ්‍ය-පුත්‍රයාණන් මහිමයට පැමිණ ඇත.</verse>
				<verse number="32">එතුමාණන් තුළින් දෙවියන් වහන්සේ ද මහිමයට පැමිණි සේක් නම්, දෙවියන් වහන්සේ තමන් තුළින් ඔහු ද මහිමයට පමුණුවන සේක. එය වහා ම කරන සේක.</verse>
				<verse number="33">දරුවෙනි, මා ඔබ සමඟ සිටින්නේ තව ටික වේලාවක් පමණකි. ඔබ මා සොයනු ඇත. එහෙත් මා ජුදෙව්වරුන්ට කීවාක් මෙන් දැන් ඔබටත් කියමි: මා යන තැනට ඔබට පැමිණිය නොහැකි ය;</verse>
				<verse number="34">මම ඔබට අලුත් ආඥාවක් දෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.</verse>
				<verse number="35">ඔබ එකිනෙකාට ප්‍රේම කරන්නහු නම්, එයින් ඔබ මාගේ ශ්‍රාවකයන් බව සියල්ලෝ දැනගනිති”යි වදාළ සේක.</verse>
				<verse number="36">සීමොන් පේදුරු කතා කොට, “ස්වාමීනි, ඔබ කොතැනට වඩින සේක් දැ”යි ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මා යන තැනට ඔබට දැන් පැමිණිය නොහැකි ය; එහෙත් පසුව ඔබ පැමිණෙනු ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="37">පේදුරු උන් වහන්සේ අමතා: “ස්වාමීනි, දැන් ම ඔබ අනුව එන්න මට බැරි මන් ද? ඔබ නිසා මාගේ දිවි පුදමි”යි කී ය.</verse>
				<verse number="38">ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ මා නිසා ඔබේ දිවි පුදන්නෙහි ද? ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, කුකුළා හඬලන්නට පෙර, ඔබ මා නොහඳුනති යි තුන් වරක් කියනු ඇතැ”යි වදාළ සේක.</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">“ඔබේ සිත් නොකැළඹේ වා! දෙවියන් වහන්සේ අදහාගන්න මා ද අදහාගන්න.</verse>
				<verse number="2">මාගේ පියාණන් වහන්සේගේ නිවාසයෙහි වාසය කිරීමට ඉඩපහසු තැන් බොහෝ ඇත. එසේ නොවේ නම් ඒ බව මම ඔබට නොකියම් ද? ඔබට ස්ථානයක් සූදානම් කරන පිණිස යමි.</verse>
				<verse number="3">මා ගොස් ඔබට ස්ථානයක් සූදානම් කළ විට, මා සිටින තැන ඔබත් සිටින පිණිස ඔබ කැඳවාගෙන යාමට මම නැවත එන්නෙමි.</verse>
				<verse number="4">මා යන ස්ථානයට මාර්ගය ඔබ දන්නහු ය”යි වදාළ සේක.</verse>
				<verse number="5">තෝමස් කතා කොට, “ස්වාමීනි, ඔබ කොතැනට වඩින සේක් දැ යි අපි නොදනිමු; එසේ නම් මාර්ගය දැනගන්නේ කෙසේ දැ”යි ඇසී ය.</verse>
				<verse number="6">ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම වෙමි; මා මඟින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙන්නෝ ය.</verse>
				<verse number="7">ඔබ මා හඳුනන්නහු නම්, මාගේ පියාණන් වහන්සේත් හඳුනන්නහු ය. මෙතැන් පටන් ඔබ උන් වහන්සේ හඳුනන්නහු ය; උන් වහන්සේ දැක ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="8">පිලිප් කතා කොට, “ස්වාමීනි, පියාණන් වහන්සේ අපට පෙන්වා වදාළ මැනව; එය අපට හොඳට ම ඇතැ”යි උන් වහන්සේට කී ය.</verse>
				<verse number="9">ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “පිලිප්, මෙපමණ කලක් මා ඔබ සමඟ විසූ නමුදු, තවමත් ඔබ මා හඳුනන්නේ නැද් ද? මා දුටු තැනැත්තේ, පියාණන් වහන්සේ දුටුවේ ය. එසේ නම්, ‘පියාණන් වහන්සේ අපට පෙන්වා වදාළ මැනවැ’යි ඔබ කියන්නේ කෙසේ ද?</verse>
				<verse number="10">මා පියාණන් වහන්සේ තුළ ද පියාණන් වහන්සේ මා තුළ ද සිටින බව ඔබ විශ්වාස නොකරන්නෙහි ද? මා ඔබ හට වදාරන වචන මාගේ ම අධිකාරී බලයෙන් නොවදාරමි; පියාණන් වහන්සේ ම මා තුළ වැඩවසමින් ස්වකීය ක්‍රියා ඉටු කරන සේක.</verse>
				<verse number="11">මා පියාණන් වහන්සේ තුළ ද පියාණන් වහන්සේ මා තුළ ද සිටින බවට මාගේ වචනය විශ්වාස කරන්න; එසේ නැත්නම් මාගේ ක්‍රියා නිසා වත් මා විශ්වාස කරන්න.</verse>
				<verse number="12">“ඒකාන්තයෙන් ම මම එසේ, ඔබට කියමි, මා අදහන්නා මා කරන ක්‍රියා ද කරන්නේ ය. තවද මා පියාණන් වහන්සේ වෙතට වඩින බැවින් ඔහු මීටත් වඩා මහත් ක්‍රියා කරන්නේ ය.</verse>
				<verse number="13">පුත්‍රයා තුළ පියාණන් වහන්සේ මහිමයට පමුණුවනු ලබන පිණිස, ඔබ මාගේ නාමයෙන් අයැදින කවර දෙයක් වුව ද මම ඉටු කරන්නෙමි.</verse>
				<verse number="14">ඔබ මාගේ නාමයෙන් අයැදින කවර දෙයක් වුව ද මම ඉටු කරන්නෙමි.”</verse>
				<verse number="15">“ඔබ මට ප්‍රේම කරන්නහු නම්, ඔබ මාගේ ආඥා පිළිපදින්නහු ය.</verse>
				<verse number="16">එවිට මම පියාණන් වහන්සේගෙන් අයැදින්නෙමි; උන් වහන්සේ ද ඔබ සමඟ සදහට ම සිටින පිණිස වෙනත් සහායදායකයෙකු දෙන සේක.</verse>
				<verse number="17">ඒ සහායදායකයාණෝ, සත්‍යයේ ආත්මයාණෝ ය. උන් වහන්සේ පිළිගැනීමට ලෝකයා අපොහොසත් ය. මන්ද, ලෝකයා උන් වහන්සේ දකින්නේ වත් හඳුනන්නේ වත් නැත. එහෙත්, ඔබ උන් වහන්සේ හඳුනන්නහු ය. මන්ද, උන් වහන්සේ ඔබ සමඟ නැවතී සිටිමින්, ඔබ තුළ වැඩ වසන සේක.</verse>
				<verse number="18">“ඔබ අනාථ වීමට ඉඩ නොදෙන්නෙමි, මම නැවත ඔබ වෙතට එන්නෙමි.</verse>
				<verse number="19">තව ස්වල්ප වේලාවකින් ලෝකයා මා තවත් නොදකිති. එහෙත් ඔබ මා දකින්නහු ය; කුමක් හෙයින් ද, මා ජීවත් වන නිසා ඔබත් ජීවත් වන බැවිනි.</verse>
				<verse number="20">ඒ දවසේ දී, මා පියාණන් වහන්සේ තුළ ද ඔබ මා තුළ ද මා ඔබ තුළ ද සිටින බව ඔබ දැනගන්නහු ය.</verse>
				<verse number="21">“මාගේ ආඥා පිළිගෙන ඒවා පිළිපදින යම් තැනැත්තෙක් වේ ද, මට ප්‍රේම කරන්නේ ඔහු ය. යම් තැනැත්තෙක් මට ප්‍රේම කරන්නේ ද මාගේ පියාණන් වහන්සේත් ඔහුට ප්‍රේම කරන සේක. මම ද ඔහුට ප්‍රේම කොට ඔහුට එළිදරව් වන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="22">ජූදස් ඉස්කාරියොත් නොවන අනෙක් ජූදස් උන් වහන්සේ අමතා: “ස්වාමීනි, ඔබ වහන්සේ අපට එළිදරව් වී ලෝකයාට එළිදරව් නොවන්නේ කෙසේ දැ”යි ඇසී ය.</verse>
				<verse number="23">ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “යමෙක් මට ප්‍රේම කරන්නේ නම්, හෙතෙම මාගේ ධර්මය පිළිපදින්නේ ය. මාගේ පියාණන් වහන්සේ ද ඔහුට ප්‍රේම කරන සේක. අපි ඔහු වෙතට පැමිණ ඔහු සමඟ වාසය කරන්නෙමු.</verse>
				<verse number="24">මට ප්‍රේම නොකරන්නා මාගේ ධර්මය නොපිළිපදියි. ඔබ අසන ධර්මය මාගේ නොව, මා එවා වදාළ පියාණන් වහන්සේගේ ධර්මය ය.</verse>
				<verse number="25">“ඔබ සමඟ සිටින අතර මම මේ දේවල් ඔබට කීවෙමි.</verse>
				<verse number="26">එහෙත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේ එවන සහායදායකයාණන් වහන්සේ, එනම්, ශුද්ධාත්මයාණන් වහන්සේ සියල්ල ඔබට උගන්වමින්, මා වදාළ සියල්ල ඔබට සිහිපත් කරවන සේක.</verse>
				<verse number="27">“ශාන්තිය ඔබ වෙත ප්‍රදානය කර යමි; මාගේ ශාන්තිය ඔබට දෙමි. මා එය ඔබට දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. ඔබේ සිත් කැළඹෙන්නට වත් බිය වන්නට වත් ඉඩ නොදෙන්න.</verse>
				<verse number="28">මම ගොස් නැවත ඔබ වෙතට එමි යි මා ඔබට කී බව ඔබ ඇසුවාහු ය. ඔබ මට ප්‍රේම කළාහු නම් මා පියාණන් වහන්සේ වෙතට යන බැවින් ඔබ ප්‍රීති වන්නහු ය. මන්ද, පියාණන් වහන්සේ මට වඩා උතුම් ය.</verse>
				<verse number="29">ඒ දේ සිදු වූ කල ඔබ විශ්වාස කරන පිණිස, එය සිදු වන්න පෙර, දැනට ම ඔබට කියා ඇත.</verse>
				<verse number="30">තවදුරටත් ඔබ සමඟ කතා කිරීමට නුපුළුවන. ලෝකයේ අධිපතියා එන්නේ ය. මා කෙරෙහි කිසි බලපුළුවන්කාරකමක් ඔහුට නැත.</verse>
				<verse number="31">එහෙත් මෙසේ වන්නේ මා පියාණන් වහන්සේට ප්‍රේම කරන බවත්, පියාණන් වහන්සේ මට අණ කළ ලෙස මා කරන බවත් ලෝකයා දැනගන්නා පිණිස ය. නැඟිටින්න, අපි මෙතැනින් පිටත් ව යමු”යි වදාළ සේක.</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">“සැබෑ මිදි වැල මම ය; මාගේ පියාණන් වහන්සේ උද්‍යාන පාලකයාණෝ ය.</verse>
				<verse number="2">උන් වහන්සේ, මා තුළ ඇති, පල නොදරන සියලු අතු කපා හරින සේක. පල දරන සියලු අතු, වඩා පල දරන පිණිස පාහින සේක.</verse>
				<verse number="3">මා ඔබට වදාළ දහම කරණකොටගෙන ඔබ දැනට ම පිරිසිදු ය.</verse>
				<verse number="4">මා තුළ සිටින්න, මම ද ඔබ තුළ සිටිමි. අත්ත මිදි වැලට යා වී නැත්නම් වෙන් ව පල දරන්නට ඊට නොහැකි සේ, ඔබ මා හා ඒකාබද්ධ නොවන්නහු නම්, පල දැරීමට ඔබට නොහැකි ය.</verse>
				<verse number="5">“මිදි වැල මම ය, ඔබ අතු ය. යමෙක් මා තුළ සිටින්නේ ද, මම ඔහු තුළ සිටිම් ද, ඒ තැනැත්තේ බොහෝ පල දරයි. මන්ද, මාගෙන් වෙන් ව කිසිවක් කරන්නට ඔබට නොහැකි ය.</verse>
				<verse number="6">යම් තැනැත්තෙක් මා තුළ නොසිටින්නේ නම් ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියළී යයි. වියළි අතු එක්රැස් කොට ගින්නට දමනු ලැබේ; ඒවා දැවී යන්නේ ය.</verse>
				<verse number="7">ඔබ මා තුළ සිටින්නහු නම්, මාගේ වචන ඔබ තුළ පවතී නම්, ඔබ කැමැති දෙයක් අයැදින්න; එය ඔබට දෙනු ලැබේ;</verse>
				<verse number="8">මාගේ පියාණන් වහන්සේ මහිමයට පමුණුවනු ලබන්නේ, ඔබ බොහෝ සේ පල දරමින් මාගේ ශ්‍රාවකයන් වීමෙන් ය.</verse>
				<verse number="9">පියාණන් වහන්සේ මට ප්‍රේම කළාක් මෙන් ම මම ද ඔබට ප්‍රේම කෙළෙමි. මාගේ ප්‍රේමයෙහි පවතින්න.</verse>
				<verse number="10">මා, මාගේ පියාණන් වහන්සේගේ ආඥා පිළිපැද උන් වහන්සේගේ ප්‍රේමයෙහි පවතින සේ ම, ඔබත් මාගේ ආඥා පිළිපදින්නහු නම්, මාගේ ප්‍රේමයෙහි පවතින්නහු ය.</verse>
				<verse number="11">“මේ දේවල් මා ඔබට ප්‍රකාශ කෙළේ, මාගේ ප්‍රීතිය ඔබ තුළ ඇති වන පිණිසත්, ඔබේ ප්‍රීතිය පරිපූර්ණ වන පිණිසත් ය.</verse>
				<verse number="12">“මාගේ ආඥාව නම්: ‘මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න’ යනුයි.</verse>
				<verse number="13">යමෙකු තමාගේ මිතුරන් උදෙසා දිවි පිදීමට වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට නැත.</verse>
				<verse number="14">මා ඔබට අණ කරන දේ ඔබ කරන්නහු නම්, ඔබ මාගේ මිතුරෝ ය.</verse>
				<verse number="15">මෙතැන් පටන් මම ඔබට දාසයෝ යයි නොකියමි; මන්ද, දාසයෙක් තමාගේ ස්වාමියා කරන්නේ කුමක් දැ යි නොදනියි. එහෙත්, මාගේ පියාණන් වහන්සේගෙන් මා ඇසූ සියල්ල ම ඔබට දන්වා වදාළ බැවින්, මම ඔබට මිත්‍රයෝ යයි කීවෙමි.</verse>
				<verse number="16">ඔබ මා තෝරාගත්තේ නැත. මම ඔබ තෝරාගෙන පත් කෙළෙමි. එසේ කෙළේ ඔබ ගොස් බොහෝ පල දරන පිණිසත්, ඔබේ පල පවතින පිණිසත්, මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් වුව ද උන් වහන්සේ ඔබට දෙන පිණිසත් ය.</verse>
				<verse number="17">මා ඔබට අණ කරන දේ මේ ය: එකිනෙකාට ප්‍රේම කරන්න.”</verse>
				<verse number="18">“ලෝකයා ඔබට ද්වේෂ කරත් නම්, ඔබට පෙර මටත් ද්වේෂ කළ බව දැනගන්න.</verse>
				<verse number="19">ඔබ ලෝකයට අයිති නම්, ලෝකයා ස්වකීය අයට මෙන් ඔබට ඇලුම් වනු ඇත. එහෙත් ඔබ ලෝකයට අයිති නොවන නිසාත්, ලෝකයා කෙරෙන් මා ඔබ තෝරාගත් නිසාත් ලෝකයා ඔබට ද්වේෂ කරති.</verse>
				<verse number="20">‘දාසයෙක් තම ස්වාමියාට වඩා උතුම් නොවේ ය’යි මා ඔබට වදාළ වචනය සිහි කරන්න. ඔව්හු මට පීඩා කළෝ නම්, ඔබටත් පීඩා කරන්නෝ ය; මාගේ වචනය පිළිපැද්දෝ නම්, ඔබගේ වචනයත් පිළිපදින්නෝ ය.</verse>
				<verse number="21">එහෙත් ඔවුන්, මා එවා වදාළ උන් වහන්සේ ව නාඳුනන බැවින්, මාගේ නාමය නිසා මේ සියල්ල ඔවුන් ඔබට කරනු ඇත.</verse>
				<verse number="22">මම පැමිණ ඔවුන්ට කතා නොකෙළෙම් නම්, ඔවුන්ට පාපයක් නැත. එහෙත්, දැන් ඔවුන්ගේ පාපය ගැන නිදහසට කරුණක් ඔවුන්ට නැත.</verse>
				<verse number="23">මට ද්වේෂ කරන්නා මාගේ පියාණන් වහන්සේටත්, ද්වේෂ කරන්නේ ය.</verse>
				<verse number="24">වෙන කිසිවෙකු කවදා වත් නොකළ මෙවැනි ක්‍රියා මම ඔවුන් අතර නොකෙළෙම් නම්, ඔවුන්ට පාපයක් නැත. එහෙත්, දැන් ඔව්හු ඒවා දැක දැකත්, මට ද මාගේ පියාණන් වහන්සේට ද ද්වේෂ කරති.</verse>
				<verse number="25">මෙසේ සිදු වන්නේ, ‘ඔව්හු හේතුවක් නැති ව මට ද්වේෂ කළහ’යි ඔවුන්ගේ ව්‍යවස්ථාවලියෙහි ලියා ඇති වචනය ඉෂ්ට වන පිණිස ය.</verse>
				<verse number="26">“මා විසින් ඔබ වෙත එවා වදාරන සහායදායකයාණන්, එනම්, පියාණන් වහන්සේ වෙතින් නික්මෙන සත්‍යතාවේ ආත්මයාණන් පැමිණි කල උන් වහන්සේ මා ගැන සාක්ෂි දරන සේක.</verse>
				<verse number="27">තවද, මුල සිට ම ඔබ මා සමඟ සිටි බැවින් ඔබත් සාක්ෂිකාරයෝ වන්නහු ය.</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">“මේ දේවල් මා ඔබට කීවේ ඔබ අධෛර්යට පත් නොවන පිණිස ය.</verse>
				<verse number="2">ඔවුන් ධර්මශාලාවලින් ඔබ නෙරපාදමනු ඇත. එපමණක් නොව, ඔබ මරණයට පත් කරන අය, එය තමන් විසින් දෙවියන් වහන්සේට කරන පූජාවකැ යි සිතන කාලයක් පැමිණෙන්නේ ය.</verse>
				<verse number="3">ඔවුන් මේ දේවල් කරන්නේ, ඔවුන් පියාණන් වහන්සේ ද මා ද නොහඳුනන බැවිනි.</verse>
				<verse number="4">තවද, මා මේ දේවල් ඔබට කීවේ, ඒවා ඉටු වන කාලය පැමිණි විට, ඒවා ගැන මා කී බව ඔබට සිහි වන පිණිස ය.” “මේ දේවල් මුල සිට ම ඔබට නොකීවේ, මා ඔබ සමඟ සිටි බැවිනි.</verse>
				<verse number="5">එහෙත් දැන් මා එවා වදාළ තැනැන් වහන්සේ වෙතට යමි. එසේ වුව ද, ‘ඔබ කොහේ යන්නේ දැ’යි ඔබ අතරෙන් කිසිවෙක් මගෙන් නොඅසති.</verse>
				<verse number="6">එනමුත්, මා මේ දේවල් ඔබට කී බැවින්, ඔබේ සිත් දුකින් පිරී ඇත.</verse>
				<verse number="7">කෙසේ වෙතත් මම ඔබ හට සැබෑව පවසමි. මාගේ නික්ම යාම ඔබේ ශුභසිද්ධිය පිණිස ය. මා නික්ම නොගියොත් සහායදායකයාණන් වහන්සේ ඔබ වෙත වැඩම නොකරන සේක. එහෙත් මම යන්නෙම් නම්, උන් වහන්සේ ඔබ වෙත එවන්නෙමි.</verse>
				<verse number="8">උන් වහන්සේ පැමිණි කල, පාපය ගැන ද ධර්මිෂ්ඨකම ගැන ද විනිශ්චය ගැන ද ලෝකයාට වටහා දෙන සේක.</verse>
				<verse number="9">පාපය ගැන යයි කීවේ, ඔවුන් මා නොඅදහන බැවිනි;</verse>
				<verse number="10">ධර්මිෂ්ඨකම ගැන යයි කීවේ, මින්පසු ඔබ මා නොදකින සේ, මා පියාණන් වහන්සේ වෙතට යන බැවිනි.</verse>
				<verse number="11">විනිශ්චය ගැන යයි කීවේ, මේ ලෝකයේ අධිපතියා විනිශ්චය කරන ලද බැවිනි.</verse>
				<verse number="12">“ඔබට කීමට තව බොහෝ දේ මට ඇත. එහෙත්, දැන් ඒවා දරාගැනීමට ඔබට නොහැකි ය.</verse>
				<verse number="13">එසේ වී නමුත්, ඒ තැනැන් වහන්සේ, එනම්, සත්‍යතාවේ ආත්මයාණන් වහන්සේ පැමිණි කල, උන් වහන්සේ සම්පූර්ණ සත්‍යය කරා යෑමට ඔබට මඟපෙන්වන සේක. මන්ද, උන් වහන්සේ සිය කැමැත්තෙන් ම කතා නොකොට, උන් වහන්සේ අසන දේ ම පවසා, මතු සිදුවන දේ ඔබට ප්‍රකාශ කරනු ඇත.</verse>
				<verse number="14">උන් වහන්සේ මා සතු දෙයින් ගෙන ඔබට ප්‍රකාශ කරන බැවින්, මා මහිමයට පමුණුවන සේක.</verse>
				<verse number="15">පියාණන් සතු සියල්ල මාගේ ය. ආත්මයාණන් වහන්සේ මා සතු දෙයින් ගෙන ඔබට ප්‍රකාශ කරන සේකැ යි මා කීවේ එබැවිනි.”</verse>
				<verse number="16">“ස්වල්ප වේලාවකින් ඔබ මා තවත් නොදක්නහු ය; එහෙත් තව ස්වල්ප වේලාවකින් ඔබ මා දක්නහු ය”යි උන් වහන්සේ වදාළ සේක.</verse>
				<verse number="17">එබැවින් උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් සමහරෙක් තම තමන් අතර කතා කරගනිමින්: “ ‘ස්වල්ප වේලාවකින් ඔබ මා තවත් නොදක්නහු ය; එහෙත් තව ස්වල්ප වේලාවකින් ඔබ මා දක්නහු ය,’ කියා ද එයට හේතුව ‘මා පියාණන් වහන්සේ වෙතට යන නිසා ය’ කියා ද උන් වහන්සේ අපට වදාරන මේ කතාව කුමක් දැ”යි කී හ.</verse>
				<verse number="18">“උන් වහන්සේ ‘ස්වල්ප වේලාවකැ’යි කියන මේ දේ කුමක් ද? උන් වහන්සේ කියන කතාව අපට නොතේරේ” යයි කී හ.</verse>
				<verse number="19">ඔවුන් තමන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්නට අදහස් කළ බව ජේසුස් වහන්සේ දැන, මෙසේ ඔවුන්ට වදාළ සේක: “ ‘ස්වල්ප වේලාවකින් ඔබ මා තවත් නොදක්නහු ය; එහෙත් තව ස්වල්ප වේලාවකින් ඔබ මා දක්නහු’යි මා කී මේ කරුණ ගැන ඔබ එකිනෙකා විචාරන්නහු ද?</verse>
				<verse number="20">ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, ඔබ හඬා වැලපෙන්නහු ය; එහෙත් ලෝකයා ප්‍රීති වන්නාහ. ඔබ දොම්නස් වන නමුත් ඔබේ දොම්නස සොම්නසට හැරෙනු ඇත.</verse>
				<verse number="21">ස්ත්‍රියකට ප්‍රසව මොහොත පැමිණි කල, ඇගේ වේලාව පැමිණ තිබෙන බැවින් ඈට දුක් වේදනා ඇති වේ. එහෙත් ඈ දරුවා බිහි කළ පසු ලෝකයට දරුවෙක් උපන්නේ ය යන ප්‍රීතිය නිසා, වේදනාව අමතක කරන්නී ය.</verse>
				<verse number="22">එමෙන් ම ඔබ දැන් ශෝක වන්නහු ය. එහෙත් නැවත මම ඔබ දකින්නෙමි. එවිට ඔබේ සිත් ප්‍රීතියෙන් පිනා යයි. ඔබේ ප්‍රීතිය ද කිසිවෙක් ඔබෙන් පැහැර නොගනිති.</verse>
				<verse number="23">“ඒ දවසේ දී ඔබ කිසි ප්‍රශ්නයක් මාගෙන් අසන්නේ නැත. ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් යමක් ඉල්ලුවොත්, උන් වහන්සේ ඒ දේ ඔබට දෙන සේක.</verse>
				<verse number="24">මේ වනතෙක් ඔබ මාගේ නාමයෙන් කිසිවක් ඉල්ලා නැත. ඉල්ලන්න, ඔබට ලැබේ; මෙසේ ඔබගේ ප්‍රීතිය පූර්ණ වන්නේ ය.”</verse>
				<verse number="25">“මේ දේවල් උපමා මඟින් මම ඔබට කීවෙමි. එහෙත් තවත් උපමා මඟින් කතා නොකර, පියාණන් වහන්සේ ගැන පැහැදිලි ලෙස ඔබට ප්‍රකාශ කරන කාලය පැමිණෙන්නේ ය.</verse>
				<verse number="26">ඒ දවසේ දී ඔබ මාගේ නාමයෙන් අයැදින්නහු ය. ඔබ උදෙසා පියාණන් වහන්සේට යාච්ඤා කරන්නෙමි යි මම නොකියමි.</verse>
				<verse number="27">ඔබ මට ප්‍රේම කරන බැවින් ද මා පියාණන් වහන්සේ වෙතින් වැඩම කළ බව ඔබ විශ්වාස කරන බැවින් ද පියාණන් වහන්සේ ම ඔබට ප්‍රේම කරන සේක.</verse>
				<verse number="28">මම පියාණන් කෙරෙන් නික්ම ආවෙමි; ලෝකයට පැමිණ සිටිමි. මම නැවත ලෝකය අත්හැර පියාණන් වහන්සේ වෙතට යන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="29">උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කතා කොට, “ආ, දැන් ඔබ උපමා මඟින් නොව, පැහැදිලි ලෙස කතා කරන සේක.</verse>
				<verse number="30">ඔබ සියල්ල දන්නා බව ද කිසිවෙකු ඔබගෙන් ප්‍රශ්න අසන්න නුවුවමනා බව ද දැන් අපි දනිමු. මෙයින්, ඔබ දෙවියන් වහන්සේ කෙරෙන් පැමිණි බව අපි විශ්වාස කරමු”යි කී හ.</verse>
				<verse number="31">ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ දැන් විශ්වාස කරන්නහු ද?</verse>
				<verse number="32">ඒ කෙසේ වෙතත් ඔබ මා තනි කරදමා, තම තමන්ගේ තැන්වලට විසුරුවනු ලබන පැය පැමිණෙන්නේ ය; දැනටමත් එය පැමිණ තිබේ. එසේ වුවත් පියාණන් වහන්සේ මා සමඟ සිටින බැවින් මම තනි නොවෙමි.</verse>
				<verse number="33">මේ දේවල් මා ඔබට කීවේ මා තුළ ඔබට ශාන්තිය ඇති වන පිණිස ය. ලෝකයෙහි ඔබට දුක්ගැහැට තිබේ. එහෙත් ධෛර්යවත් වන්න; මම ලෝකය අභිබවා ජයගතිමි”යි වදාළ සේක.</verse>
			</chapter>
			<chapter number="17">
				<verse number="1">ජේසුස් වහන්සේ මේ දේවල් වදාරා, ස්වර්ගය දෙසට ඇස් ඔසවා මෙසේ යාච්ඤා කළ සේක: “පියාණෙනි, දැන් නියමිත මොහොත පැමිණ තිබේ. පුත්‍රයාණන් විසින් ඔබ මහිමයට පමුණුවනු ලබන පිණිස, ඔබ ද පුත්‍රයාණන් මහිමයට පැමිණෙව්ව මැනව.</verse>
				<verse number="2">මන්ද, ඔබ විසින් පුත්‍රයාණන්ට දෙන ලද සියල්ලන් හට සදාතන ජීවනය දෙන පිණිස, සකල මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ආධිපත්‍යය ඔබ වහන්සේ පුත්‍රයාණන්ට දුන් සේක.</verse>
				<verse number="3">සදාතන ජීවනය මේ ය: එක ම සැබෑ දෙවියන් වන ඔබ ද, ඔබ විසින් එවන ලද තැනැන් වහන්සේ වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ද, දැනගැනීම ය.</verse>
				<verse number="4">ඔබ වහන්සේ මට භාර දුන් මෙහෙය සම්පූර්ණ කරමින් මම මිහි පිට ඔබ මහිමයට පැමිණිවීමි.</verse>
				<verse number="5">ඉතින් පියාණෙනි, ලොව ඇති වන්නට පෙර ඔබ හා සමඟ මට තිබුණු තේජශ්‍රීයෙන්, දැන් ඔබ ඉදිරියෙහි මා තේජශ්‍රීයට පැමිණෙව්ව මැනව.</verse>
				<verse number="6">“ඔබ වහන්සේ ලෝකයෙන් වෙන් කොට මට දුන් මිනිසුන් හට ඔබගේ නාමය මම ප්‍රකාශ කෙළෙමි. ඔව්හු ඔබට අයිති වූ හ. ඔබ ඔවුන් මට දුන් සේක. ඔව්හු ඔබගේ දහම පිළිපැද්දාහ.</verse>
				<verse number="7">ඔබ මට දුන් සියල්ල ම ඔබගෙන් පැමිණි බව දැන් ඔව්හු දනිති.</verse>
				<verse number="8">මන්ද, ඔබ මට පැවසූ වචන මම ඔවුන්ට පැවසීමි. ඔව්හු එය පිළිගෙන මා ඔබ වෙතින් පැමිණි බව සැබැවින් ම දැන, ඔබ මා එවා වදාළ බව විශ්වාස කරති.</verse>
				<verse number="9">“මම ඔවුන් උදෙසා යාච්ඤා කරමි. ඔබ මට දුන් ඔවුන් උදෙසා මිස, ලෝකයා උදෙසා යාච්ඤා නොකරමි. මන්ද, ඔව්හු ඔබගේ ය.</verse>
				<verse number="10">මා සන්තක සියල්ල ඔබගේ ය; ඔබ සන්තක සියල්ල මාගේ ය. ඔවුන් තුළින් මම තේජශ්‍රීයට පැමිණ සිටිමි.</verse>
				<verse number="11">මම තවත් ලෝකයෙහි නොසිටිමි. එහෙත් ඔව්හු ලෝකයෙහි සිටිති. මම ඔබ වෙතට එන්නෙමි. සුවිශුද්ධ පියාණෙනි, අප මෙන් ඔවුන් ද, ඒකත්වයක් වන පිණිස, ඔබ මට දුන් ඔබගේ නාමයේ අනුහසින් ඔවුන් ආරක්ෂා කළ මැනව.</verse>
				<verse number="12">මම ඔවුන් සමඟ සිටිය දී ඔබ මට දුන් ඔබගේ නාමයේ අනුහසින් මම ඔවුන් ආරක්ෂා කෙළෙමි. මම ඔවුන් රැකබලාගතිමි. ශුද්ධ ලියවිල්ල සම්පූර්ණ වන පිණිස, විනාශයේ පුත්‍රයා හැර අන් කිසිවෙක් විනාශ නොවූ හ.</verse>
				<verse number="13">එහෙත් දැන් මම ඔබ වෙතට එමි. මා ලෝකයෙහි දී මේ දේවල් ප්‍රකාශ කරන්නේ, මාගේ ප්‍රීතිය ඔවුන් තුළ සම්පූර්ණයෙන් ම ඇති වන පිණිස ය.</verse>
				<verse number="14">මම ඔවුන්ට ඔබගේ දහම දුනිමි. මා ලෝකයට අයිති නොවන සේ ම, ඔවුන් ද ලෝකයට අයිති නොවන බැවින්, ලෝකයා ඔවුන්ට ද්වේෂ කළහ.</verse>
				<verse number="15">ඔබ ලෝකයෙන් ඔවුන් වෙන් කරන මෙන් මම යාච්ඤා නොකරමි; නපුරාගෙන් ඔවුන් ආරක්ෂා කරන මෙන් යාච්ඤා කරමි.</verse>
				<verse number="16">මා ලෝකයෙන් නොවන්නාක් මෙන් ම ඔව්හු ද ලෝකයෙන් නොවෙති.</verse>
				<verse number="17">සත්‍යයෙහි ඔවුන් කැප කළ මැනව; සත්‍යය නම් ඔබගේ ධර්මය ය.</verse>
				<verse number="18">ඔබ මා ලෝකයට එවා වදාළාක් මෙන්, මම ද ඔවුන් ලෝකයට යැවීමි.</verse>
				<verse number="19">ඔවුන් සත්‍යයට කැප වන පිණිස, මම ඔවුන් උදෙසා කැප වෙමි.</verse>
				<verse number="20">“මොවුන් ගැන පමණක් නොව, මොවුන්ගේ වචනය කරණකොටගෙන මා අදහාගන්නා අය ගැනත් යාච්ඤා කරමි.</verse>
				<verse number="21">පියාණෙනි, මා මෙසේ යාච්ඤා කරන්නේ ඔබ මා තුළ ද මා ඔබ තුළ ද සිටින්නාක් මෙන්, ඔවුන් ද අප තුළ ඒකත්වයක් වන පිණිසත්, ඔබ මා එවා වදාළ බව ලෝකයා විශ්වාස කරන පිණිසත් ය.</verse>
				<verse number="22">අප ඒකත්වයක් ව සිටින්නා සේ ම, ඔවුනුත් ඒකත්වයක් වන පිණිස ඔබ මට දුන් තේජශ්‍රීය මම ඔවුන්ට දුනිමි.</verse>
				<verse number="23">මෙසේ කෙළේ, මා ඔවුන් තුළ ද ඔබ මා තුළ ද සිටීමෙන්, ඔවුන් සම්පූර්ණ ලෙස ඒකත්වයට පැමිණෙන පිණිසත්, ඔබ මා එවා වදාළ බව ද, ඔබ මට ප්‍රේම කළාක් මෙන් ඔවුන්ටත් ප්‍රේම කළ බව ද ලෝකයා දැනගන්නා පිණිසත් ය.</verse>
				<verse number="24">“පියාණෙනි, ලෝකය මැවීමට පෙර ඔබ මට ප්‍රේම කළ නිසා මට පැවරූ තේජශ්‍රීය, ඔබ මට දුන් අය විසින් දකින පිණිස, මා සිටින තැන ඔවුනුත් සිටිනවාට කැමැත්තෙමි.</verse>
				<verse number="25">“ධාර්මික පියාණෙනි, ලෝකයා ඔබ දැනගත්තේ නැත. එහෙත් මම ඔබ දැනගතිමි. තවද, ඔබ මා එවා වදාළ බව මොවුහු දනිති.</verse>
				<verse number="26">ඔබ මට දැක් වූ ප්‍රේමය ඔවුන් තුළ වන පිණිසත්, මා ද ඔවුන් තුළ වන පිණිසත්, ඔබගේ නාමය ඔවුන්ට දන්වා වදාළෙමි. තවත් දන්වා වදාරන්නෙමි.”</verse>
			</chapter>
			<chapter number="18">
				<verse number="1">ජේසුස් වහන්සේ යාච්ඤාව නිම කළ පසු, සිය ශ්‍රාවකයන් සමඟ කිද්‍රොන් ඇළෙන් එගොඩට වැඩිය සේක. එහි උයනක් විය. උන් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ එයට පිවිසි සේක.</verse>
				<verse number="2">ද්‍රෝහියා වූ ජූදස් මේ ස්ථානය දැන සිටියේ ය. මන්ද, ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ එහි නිතර ම රැස් වූ බැවිනි.</verse>
				<verse number="3">ජූදස් තෙමේ, නායක පූජකයන්ගෙන් ද පරිසිවරුන්ගෙන් ද භට කණ්ඩායමක් සහ මුර සේවකයන් කීප දෙනෙකුත් ලබාගෙන, පහන්, පන්දම් හා අවිආයුධ ඇති ව එතැනට පැමිණියේ ය.</verse>
				<verse number="4">තමන් වහන්සේට සිදුවන්නට යන සියලු දේ දැන සිටි ජේසුස් වහන්සේ, ඉදිරියට ගොස්, “ඔබ කවරෙකු සොයන්නහු දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක.</verse>
				<verse number="5">ඔව්හු පිළිතුරු දෙමින්: “නාසරෙත්හි ජේසුස් ය”යි කී හ. “ඒ මම ය”යි ජේසුස් වහන්සේ ඔවුන්ට වදාළ සේක. ද්‍රෝහියා වූ ජූදස් ඔවුන් සමඟ සිටියේ ය.</verse>
				<verse number="6">“ඒ මම” යයි ජේසුස් වහන්සේ ඔවුන්ට කී කල්හි, ඔව්හු පස්සෙන් පස්සට ගොස් බිම වැටුණාහ.</verse>
				<verse number="7">යළිත් උන් වහන්සේ, “ඔබ කවරෙකු සොයන්නහු දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. “නාසරෙත්හි ජේසුස් ය”යි ඔව්හු කී හ.</verse>
				<verse number="8">ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒ මම යයි ඔබට කීවෙමි; ඉදින් ඔබ මා සොයන්නහු නම්, මොවුන්ට යන්න දෙන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="9">මෙසේ වූයේ: ‘ඔබ මට දුන් අයගෙන් එක් කෙනෙක් වත් නැති නොවී ය’යි උන් වහන්සේ කී වචන ඉෂ්ට වන පිණිස ය.</verse>
				<verse number="10">සීමොන් පේදුරු ළඟ කඩුවක් තිබිණි. ඔහු එය ඇද, උත්තම පූජකයාගේ දාසයාට ගසා, ඔහුගේ දකුණු කන කපා දැමී ය. ඒ දාසයාගේ නම මල්කස් ය.</verse>
				<verse number="11">එවිට ජේසුස් වහන්සේ, “කඩුව කොපුවේ දමන්න, පියාණන් වහන්සේ මට දී තිබෙන කුසලාන මම නොබොම් දැ”යි පේදුරුට වදාළ සේක.</verse>
				<verse number="12">එකල භට කණ්ඩායම ද ඔවුන්ගේ මහා සේනාධිපතියා ද ජුදෙව්වරුන්ගේ මුර සේවකයෝ ද ජේසුස් වහන්සේ අල්ලා, බැඳගෙන</verse>
				<verse number="13">පළමුකොට අන්නස් වෙතට ගෙන ගියෝ ය. ඔහු ඒ වසරේ උත්තම පූජකයා ව සිටි කායාපස්ගේ මයිලණුවන් විය.</verse>
				<verse number="14">මේ කායාපස් වනාහි, ජනතාව වෙනුවෙන් එක් මිනිසෙකු මරණයට පත්වීම සුදුසු යයි ජුදෙව්වරුන්ට උපදෙස් දුන් තැනැත්තේ ය.</verse>
				<verse number="15">ජේසුස් වහන්සේ පසුපස්සේ සීමොන් පේදුරු ද තවත් ශ්‍රාවකයෙක් ද ගියහ. මේ ශ්‍රාවකයා, උත්තම පූජකයා දැන සිටි කෙනෙකු වූ බැවින්, ඔහු ජේසුස් වහන්සේ සමඟ උත්තම පූජකයාගේ මැදුරේ මහා මළුවට ඇතුළු විය.</verse>
				<verse number="16">පේදුරු දොර ළඟ පිටත සිටියේ ය. එවිට උත්තම පූජකයා දැන සිටි අනික් ශ්‍රාවකයා පිටතට ගොස් දොරටුපාලියට කතා කොට, පේදුරු ඇතුළතට ගෙනාවේ ය.</verse>
				<verse number="17">එවිට දොරටුපාලී, “ඔබත් මේ මිනිසාගේ ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක් නොවේ දැ”යි ඇසුවා ය. “නැතැ”යි ඔහු පිළිතුරු දුනි.</verse>
				<verse number="18">එය ශීත කාලය වූයෙන්, දාසයෝ ද මුර සේවකයෝ ද අඟුරු දල්වා ගිනි තපිමින් සිටියෝ ය. පේදුරු ද ඔවුන් සමඟ ගිනි තපිමින් සිටියේ ය.</verse>
				<verse number="19">එවිට උත්තම පූජකයා, ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයන් ගැන ද උන් වහන්සේගේ ඉගැන්වීම ගැන ද ප්‍රශ්න කෙළේ ය.</verse>
				<verse number="20">ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “මම එළිපිට ම ලෝකයාට කතා කෙළෙමි: ජුදෙව්වරුන් සියලු දෙනා එක්රැස් වන ධර්මශාලාවලදීත් දේව මාලිගාවේදීත්, නිතර ම අනුශාසනා කෙළෙමි. රහසින් කිසිවක් නොකීවෙමි.</verse>
				<verse number="21">මාගෙන් විචාරන්නේ කුමක්නිසා ද? මා කී දේ ඇසූ අයගෙන්, මා ඔවුන්ට කීවේ කුමක් දැ යි ප්‍රශ්න කරන්න. මා කීවේ කුමක් දැ යි ඔව්හු දනිති”යි වදාළ සේක.</verse>
				<verse number="22">උන් වහන්සේ මෙසේ වදාළ විට, ළඟ සිටි මුර සේවකයන්ගෙන් කෙනෙක්: “නුඹ උත්තම පූජකයාට උත්තර දෙන්නේ මෙලෙස ද?” කියා ජේසුස් වහන්සේට අතුල් පහරක් ගැසී ය.</verse>
				<verse number="23">ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්: “මා කී දෙයෙහි වරදක් ඇත්නම්, එය ඔප්පු කරන්න; නැත්නම් කුමක් නිසා මට පහර දෙන්නෙහි දැ”යි ඇසූ සේක.</verse>
				<verse number="24">ඒ ඇසූ අන්නස්, උන් වහන්සේ බැඳ සිටි ලෙස ම උත්තම පූජකයා වූ කායාපස් වෙතට යැවී ය.</verse>
				<verse number="25">සීමොන් පේදුරු ගිනි තපිමින් සිටියේ ය. එවිට සෙසු අය කතා කරමින්, “නුඹත් ඔහුගේ ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක් නොවේ දැ”යි ඔහුගෙන් ඇසූ හ. ඔහු: “නැත, එසේ නොවේ ය”යි කී ය.</verse>
				<verse number="26">එවිට පේදුරු විසින් කන කපන ලද තැනැත්තාගේ ඥාතියෙකු වූ, උත්තම පූජකයාගේ දාසයන්ගෙන් එක් කෙනෙක්: “නුඹ ඔහු සමඟ උයනේ සිටිනවා මා දුටුවා නොවේ දැ”යි ඇසී ය.</verse>
				<verse number="27">පේදුරු යළිත් අපලාප කෙළේ ය. එකෙණෙහි ම කුකුළා හැඬලී ය.</verse>
				<verse number="28">එවිට ඔව්හු, ජේසුස් වහන්සේ කායාපස් වෙතින් රජවාසලට ගෙන ගියහ. එය අලුයම් වේලාව විය. පාස්කු භෝජනය වැළඳීමට නොහැකි වන සේ තමන් අපවිත්‍ර වෙති යි සිතා, ඔව්හු රජවාසලට ඇතුළු නොවූ හ.</verse>
				<verse number="29">එබැවින් පිලාත්, පිටත ඔවුන් සිටි තැනට පැමිණ, “මේ මිනිසාට විරුද්ධ ව ඔබ ගෙනෙන චෝදනාව කුමක් දැ”යි ඇසී ය.</verse>
				<verse number="30">ඔව්හු පිළිතුරු දෙමින්, “මේ මිනිසා අපරාධකාරයෙක් නොවේ නම්, අප ඔහු ඔබ අතට භාර දෙන්නේ නැතැ”යි කී හ.</verse>
				<verse number="31">පිලාත් ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ ම ඔහු ගෙනගොස් ඔබේ නීතිය අනුව විනිශ්චය කරන්නැ”යි කී ය. ජුදෙව්වරු පිළිතුරු දෙමින්, “කිසිවෙකු මරණයට පත් කිරීමට අපට බලය නැතැ”යි කී හ.</verse>
				<verse number="32">මෙසේ වූයේ, ‘තමන් වහන්සේ කුමන ආකාරයක මරණයකින් මැරෙන සේක් දැ’යි දන්වමින් ජේසුස් වහන්සේ වදාළ වචන ඉෂ්ට වන පිණිස ය.</verse>
				<verse number="33">එබැවින් යළිත් රජවාසලට පිලාත් ඇතුළු වී, ජේසුස් වහන්සේ කැඳවා, “නුඹ ජුදෙව්වරුන්ගේ රජ දැ”යි ඇසී ය.</verse>
				<verse number="34">ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්: “මෙය ඔබ ම කියන දෙයක් ද, නැතහොත් අන් අය මා ගැන කී දෙයක් දැ”යි ඇසූ සේක.</verse>
				<verse number="35">පිලාත් පිළිතුරු දෙමින්, “මම ජුදෙව්වෙක් ද? නුඹේ ම ජාතිය ද නායක පූජකයෝ ද නුඹ මා අතට භාර දුන්හ. නුඹ කුමක් කෙළෙහි ද?”යි ඇසී ය.</verse>
				<verse number="36">ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මාගේ රාජ්‍යය මේ ලෝකයට අයිති නැත. මාගේ රාජ්‍යය මේ ලෝකයට අයිති වූවක් නම්, ජුදෙව්වරුන් අතට මා භාර නොදෙන පිණිස මාගේ සේවකයන් සටන් කරනු ඇත. ඒ නිසා මාගේ රාජ්‍යය මෙලොවින් වූවක් නොවේ ය”යි වදාළ සේක.</verse>
				<verse number="37">එවිට පිලාත්, “එසේ නම්, නුඹ රජෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මම රජෙක් යයි ඔබ ම කියන්නෙහි ය. මා උපන්නේත්, ලොව පහළ වූයේත්, සත්‍යයට සාක්ෂි දරන පිණිස ය; සත්‍යයෙහි පිහිටි සියල්ලෝ මාගේ හඬ අසති”යි වදාළ සේක.</verse>
				<verse number="38">“සත්‍යය කියන්නේ කුමක් දැ”යි පිලාත් උන් වහන්සේගෙන් ඇසී ය. පිලාත් මෙසේ කියා යළිත් පිටත සිටි ජුදෙව්වරුන් වෙතට ගොස්, “මොහු අත කිසි වරදක් මට නොපෙනේ.</verse>
				<verse number="39">පාස්කු මංගල්‍යයේ දී ඔබ හට එක් මිනිසෙකු මා විසින් නිදහස් කර දීමේ සිරිතක් ඔබ අතර ඇත. එබැවින් ජුදෙව්වරුන්ගේ රජු ඔබ හට නිදහස් කර දෙනවාට ඔබ කැමැති දැ”යි ඔවුන්ගෙන් ඇසී ය.</verse>
				<verse number="40">එවිට ඔව්හු නැවතත් මොරගසමින්, “මේ මිනිසා නොවේ, බරබ්බස් නිදහස් කර දෙන්නැ”යි කී හ. බරබ්බස් වනාහි මංකොල්ලකාරයෙකි.</verse>
			</chapter>
			<chapter number="19">
				<verse number="1">ඉක්බිති පිලාත් ජේසුස් වහන්සේට කසවලින් තැළෙව්වේ ය.</verse>
				<verse number="2">හේවායෝ කටු ඔටුන්නක් ගොතා, උන් වහන්සේගේ හිසෙහි තබා, නීල-රක්ත වස්ත්‍රයක් උන් වහන්සේට හඳවා,</verse>
				<verse number="3">උන් වහන්සේ ළඟට පැමිණ, “ජුදෙව් රජතුමෙනි, සැරදේ!” කියමින් උන් වහන්සේට අතුල් පහර දුන්හ.</verse>
				<verse number="4">යළිත් පිලාත් පිටතට ගොස්, “මොහු අත කිසි වරදක් මට නොපෙනෙන බව ඔබ දැනගන්නා පිණිස, මෙන්න, මොහු ඔබ වෙතට ගෙනෙමි”යි ඔවුන්ට කී ය.</verse>
				<verse number="5">එවිට ජේසුස් වහන්සේ, කටු ඔටුන්න හිසේ දරා, නීල-රක්ත වස්ත්‍රය ද හැඳගෙන, පිටතට ආ සේක. “මෙන්න, ඒ මනුෂ්‍යයා” යයි පිලාත් ඔවුන්ට කී ය.</verse>
				<verse number="6">එවිට නායක පූජකවරු ද මුර සේවකයෝ ද උන් වහන්සේ දුටු කල, “කුරුසියේ ඇණ ගසන්න, කුරුසියේ ඇණ ගසන්නැ”යි මොරගැසූ හ. පිලාත් කතා කරමින්, “ඔබ ම මොහු ගෙන ගොස් කුරුසියේ ඇණ ගසන්න, මන්ද, මොහු අත කිසි ම වරදක් ඇති බව මට නම් නොපෙනේ ය”යි කී ය.</verse>
				<verse number="7">ජුදෙව්වරු පිළිතුරු දෙමින්, “නීතියක් අපට ඇත; ඒ අනුව, මොහු තමා ම දෙවියන් වහන්සේගේ පුත්‍රයා යයි කී බැවින් මරනු ලැබිය යුතු ය”යි කී හ.</verse>
				<verse number="8">ඒ කීම ඇසූ කල, පිලාත් වඩාත් බිය වී,</verse>
				<verse number="9">රජවාසලට යළිත් ඇතුළු වී, ජේසුස් වහන්සේ අමතා, “ඔබ කොහෙන් එන්නේ දැ”යි ඇසී ය. එහෙත් ජේසුස් වහන්සේ කිසි පිළිතුරක් නුදුන් සේක.</verse>
				<verse number="10">එබැවින් පිලාත් කතා කොට, “ඔබ මට පිළිතුරක් නොදෙන්නෙහි ද? ඔබ නිදහස් කර හරින්නට හෝ කුරුසියේ ඇණ ගසන්නට හෝ මට බලය ඇති බව ඔබ නොදන්නෙහි දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය.</verse>
				<verse number="11">ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “දෙවිඳුන් විසින් බලය නොදෙන ලද්දේ නම්, මට විරුද්ධ ව ඔබට කිසි බලයක් නැත. එබැවින් මා ඔබ අතට පාවා දුන් තැනැත්තාගේ පාපය වඩාත් බරපතල ය”යි වදාළ සේක.</verse>
				<verse number="12">ඒ මොහොතේ පටන් පිලාත් ජේසුස් වහන්සේ නිදහස් කර හරින්නට මඟක් සෙවී ය. එහෙත් ජුදෙව්වරු මොරගසමින්, “ඔබ මොහු නිදහස් කර හැරියොත් ඔබ සීසර් අධිරාජයාගේ මිතුරෙක් නොවේ. යම් තැනැත්තෙක් තමා රජෙකැ යි කියාගන්නේ ද, ඔහු අධිරාජයාගේ හතුරෙකි”යි කී හ.</verse>
				<verse number="13">පිලාත් ඒ බස් අසා, ජේසුස් වහන්සේ පිටතට ගෙනැවිත් සිටුවා, හෙබ්‍රෙව් බසින් ‘ගබ්බාතා’ කියන ගල් වේදිකා නම් ස්ථානයේ ඇති විනිශ්චයාසනයෙහි අසුන් ගත්තේ ය.</verse>
				<verse number="14">ඒ වනාහි පාස්කු මංගල්‍යයට සූදානම් වීමේ දවසේ මද්දහන් වේලාව පමණ විය. ඔහු, “මෙන්න ඔබේ රජ ය”යි ජුදෙව්වරුන්ට කී ය.</verse>
				<verse number="15">“ඔහු මරව, ඔහු මරව, ඔහු කුරුසියේ ඇණ ගසව”යි ඔව්හු මොරගැසූ හ. “ඔබේ රජු කුරුසියේ ඇණ ගසන්නට දැ”යි පිලාත් ඔවුන්ගෙන් ඇසී ය. නායක පූජකයෝ පිළිතුරු දෙමින්, “සීසර් අධිරාජයා හැර අන් රජෙක් අපට නැතැ”යි කී හ.</verse>
				<verse number="16">එකල ඔහු, උන් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලබන පිණිස ඔවුන්ට භාර දුන්නේ ය. එබැවින් ඔව්හු ජේසුස් වහන්සේ භාර ගත්හ.</verse>
				<verse number="17">උන් වහන්සේ ම කුරුසිය උසුලාගෙන, හෙබ්‍රෙව් බසින් ගොල්ගොතා යයි කියන කපාලපිටිය නම් ස්ථානයට වැඩිය සේක.</verse>
				<verse number="18">එහි දී ඔව්හු උන් වහන්සේ කුරුසියේ ඇණ ගැසූ හ; උන් වහන්සේ සමඟ තවත් දෙදෙනෙකු දෙපසින් ද උන් වහන්සේ මැදි ව ද සිටින සේ ඇණ ගැසූ හ.</verse>
				<verse number="19">තවද පිලාත් නාම පුවරුවක් ලියවා කුරුසිය මත තැබෙව්වේ ය. ‘ජුදෙව්වරුන්ගේ රජ වූ නාසරෙත්හි ජේසුස් ය’යි එහි ලියා තිබිණි.</verse>
				<verse number="20">ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ ස්ථානය නුවරට සමීප වූ බැවින්, ජුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක්, එය කියෙව්වෝ ය. හෙබ්‍රෙව්, ලතින්, ග්‍රීක් යන භාෂාවලින් එය ලියා තිබිණි.</verse>
				<verse number="21">එබැවින් ජුදෙව්වරුන්ගේ නායක පූජකයෝ පිලාත්ට කතා කොට, “ ‘ජුදෙව්වරුන්ගේ රජ’ යයි නොලියා, ‘මම ජුදෙව්වරුන්ගේ රජ වෙමි යි, මේ මිනිසා, කියාගත්තේ ය’යි ලියෙව්ව මැනවැ”යි කී හ.</verse>
				<verse number="22">පිලාත් පිළිතුරු දෙමින්, “මම ලිව්වොත් ලිව්වා ම ය”යි කී ය.</verse>
				<verse number="23">ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසූ පසු, හේවායෝ උන් වහන්සේගේ වස්ත්‍ර ගෙන, එක හේවායෙකුට එක කොටසක් බැගින් කොටස් සතරකට බෙදාගත්හ. ඔව්හු උන් වහන්සේගේ සළුව ද ගත්හ. ඒ සළුවට මූට්ටුවක් නොදමා, උඩ සිට පහළට මුළුමනින් ම එකට වියා තිබිණි.</verse>
				<verse number="24">එබැවින් ඔව්හු එකිනෙකාට කතා කොට, “අපි මෙය නොඉරා, කවරෙකුට වැටේ ද කියා දාදු දමා බලමු”යි කී හ. මෙසේ වූයේ: “මාගේ වස්ත්‍ර ඔව්හු තම තමන් අතර බෙදාගත්හ; මාගේ සළුව පිණිස දාදු දැමූ හ” යන ශුද්ධ ලියවිල්ල ඉටු වන පිණිස ය. එබැවින් හේවායෝ මෙසේ කළහ.</verse>
				<verse number="25">ජේසුස් වහන්සේගේ මෑණියෝ ද මෑණියන්ගේ සහෝදරී වූ ක්ලෝපාස්ගේ භාර්යාව වූ මරියා ද මග්දලායේ මරියා ද උන් වහන්සේගේ කුරුසිය ළඟ සිටියෝ ය.</verse>
				<verse number="26">එකල ජේසුස් වහන්සේ සිය මෑණියන් ද තමා ප්‍රේම කළ ශ්‍රාවකයා ද ළඟ සිටිනු දැක, “ස්ත්‍රිය, මෙන්න ඔබේ පුත්‍රයා ය”යි සිය මෑණියන් හට වදාළ සේක.</verse>
				<verse number="27">ඉන්පසු උන් වහන්සේ එම ශ්‍රාවකයාට කතා කොට, “මෙන්න ඔබේ මෑණියෝ ය”යි වදාළ සේක. ඒ මොහොතේ සිට ඒ ශ්‍රාවකයා තම නිවසට ඇය පිළිගත්තේ ය.</verse>
				<verse number="28">ඉන්පසු ජේසුස් වහන්සේ සියල්ල නිමාවට පත් වූ බව දැන, ශුද්ධ ලියවිල්ල ඉෂ්ට වන පිණිස, “මට පිපාස ය”යි වදාළ සේක.</verse>
				<verse number="29">එහි විනාකිරි පිරූ භාජනයක් තිබිණි. එබැවින් ඔව්හු විනාකිරි පොඟවන ලද මූදුහත්තක් හිසොප් දණ්ඩක ගසා, උන් වහන්සේගේ මුඛයට ළං කළහ.</verse>
				<verse number="30">ජේසුස් වහන්සේ විනාකිරි පිළිගත් පසු, “සියල්ල නිම වී ය”යි වදාරා, හිස නමා ස්වකීය ප්‍රාණය භාර දුන් සේක.</verse>
				<verse number="31">එය සබත් දිනට පෙර සූදානම් වීමේ දවස විය. ඒ සබත් දවස විශේෂ දිනයක් වූ බැවින් එදින ශරීර කුරුසිවල ම නොතිබෙන පිණිස, කුරුසියේ ඇණ ගැසූ අයගේ කකුල් කඩා ඔවුන් ඉවත් කරන මෙන් ජුදෙව්වරු පිලාත්ගෙන් ඉල්ලා සිටියහ.</verse>
				<verse number="32">එබැවින් හේවායෝ අවුත්, පළමුවැන්නාගේත්, එමෙන් ම ඔහු සමඟ ඇණගසන ලද දෙවැන්නාගේත් කකුල් කඩාදැමූ හ.</verse>
				<verse number="33">එහෙත් ඔව්හු ජේසුස් වහන්සේ ළඟට පැමිණි විට උන් වහන්සේ මිය ගොස් සිටින බව දැක, උන් වහන්සේගේ කකුල් නොකැඩූ හ.</verse>
				<verse number="34">එහෙත්, හේවායන්ගෙන් කෙනෙක් හෙල්ලයකින් උන් වහන්සේගේ ඇලයට ඇන්නේ ය. එකෙණෙහි ම, ලේත් වතුරත් ගලා ආවේ ය.</verse>
				<verse number="35">එය දුටු තැනැත්තේ ඒ ගැන සාක්ෂි දරයි. ඔහුගේ සාක්ෂිය සැබෑ ම ය. ඔබත් විශ්වාස කරන පිණිස ඔහුගේ සාක්ෂිය සැබෑ බව ඔහු දනියි.</verse>
				<verse number="36">මේ දේවල් සිදු වූයේ, ‘ඔහුගේ එක ඇටයක් වත් නොබිඳිනු ලැබේ ය’යි ලියා ඇති ශුද්ධ ලියවිලි පාඨය ඉෂ්ට වන පිණිස ය.</verse>
				<verse number="37">තවද: ‘ඔවුන් ඇණ තුවාළ කළ තැනැත්තා දෙස, බලනු ඇතැ’යි තවත් ශුද්ධ ලියවිලි පාඨයක් ඇත.</verse>
				<verse number="38">ඉන්පසු, ජුදෙව්වරුන්ට බිය නිසා, රහසින් ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයෙකු වූ අරිමාතියේ ජෝසෙප්, ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන යාමට පිලාත්ගෙන් අවසර ඉල්ලී ය. පිලාත් අවසර දුන්නේ ය. එබැවින් ඔහු අවුත් ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන ගියේ ය.</verse>
				<verse number="39">මීට කලින් දිනෙක උන් වහන්සේ වෙත රාත්‍රියෙහි පැමිණි නිකොදේමුස් ද, කිලෝග්‍රෑම් තිහක් පමණ බර ගන්ධරස හා අගිල් මිශ්‍රණයක් ගෙන ආයේ ය.</verse>
				<verse number="40">ඔව්හු ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන, ජුදෙව්වරුන්ගේ අවමඟුල් සිරිත් පරිදි සුවඳ ද්‍රව්‍ය ගල්වා සිහින් හණ රෙදිවලින් එය වෙළුවෝ ය.</verse>
				<verse number="41">උන් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ ස්ථානයේ උයනක් විය. ඒ උයනේ, ඒ තාක් කිසි කලෙක කිසිවකු තැන්පත් නොකළ අලුත් සොහොන් ගෙයක් විය.</verse>
				<verse number="42">ජුදෙව්වරුන්ගේ සබත් දිනට පෙර දින ආසන්න වූ බැවින් ද ඒ සොහොන් ගෙය නුදුරු ව තිබුණු බැවින් ද ඔව්හු ජේසුස් වහන්සේ එහි තැන්පත් කළහ.</verse>
			</chapter>
			<chapter number="20">
				<verse number="1">සතියේ පළමු වන දා හිමිදිරියේ ම, අඳුර තිබිය දී, මග්දලායේ මරියා සොහොන් ගෙය ළඟට අවුත්, සොහොන් ගෙයින් ගල ඉවත් කොට තිබෙන බව දුටුවා ය.</verse>
				<verse number="2">එබැවින් ඈ සීමොන් පේදුරු ද ජේසුස් වහන්සේ ප්‍රේම කළ අනික් ශ්‍රාවකයා ද වෙත දුව ගොස්, “ඔවුන් සමිඳාණන් වහන්සේ සොහොන් ගෙයින් ඉවතට ගෙන ගොස් තිබේ; ඔවුන් උන් වහන්සේ කොතැනක තැබුවා ද කියා අපි නොදනිමු”යි කීවා ය.</verse>
				<verse number="3">එවිට පේදුරු ද අනික් ශ්‍රාවකයා ද නික්ම විත් සොහොන් ගේ දෙසට ගියහ.</verse>
				<verse number="4">දෙදෙනා ම එක් ව දිව්වෝ ය. අනික් ශ්‍රාවකයා පේදුරු පසු කර දුව ගොස් පළමුවෙන් සොහොන් ගෙට පැමිණ,</verse>
				<verse number="5">නැමී බලා, සිහින් හණ රෙදි එහි තිබෙන බව දිටී ය. එහෙත් ඔහු ඇතුළට නොගියේ ය.</verse>
				<verse number="6">සීමොන් පේදුරු ඔහුට පසුව පැමිණ සොහොන් ගේ ඇතුළට ගොස්, හණ රෙදි එහි තිබෙන බවත්,</verse>
				<verse number="7">උන් වහන්සේගේ හිස ඔතා තිබූ රෙදි කඩ, හණ රෙදි සමඟ නොව, වෙන ම එක් තැනෙක අකුළා තිබෙන බවත් දුටුවේ ය.</verse>
				<verse number="8">එකල සොහොන් ගේ ළඟට පළමුවෙන් පැමිණි ඒ අනික් ශ්‍රාවකයා ද, ඇතුළට ගොස් දැක විශ්වාස කෙළේ ය.</verse>
				<verse number="9">උන් වහන්සේ මළවුන්ගෙන් නැඟිට වදාළ යුතු යයි ලියන ලද ශුද්ධ ලියවිල්ල, ඒ වන තුරු ඔවුන් තේරුම් ගෙන සිටියේ නැත.</verse>
				<verse number="10">ඉක්බිති ශ්‍රාවකයෝ තම තමන්ගේ නිවෙස්වලට හැරී ගියහ.</verse>
				<verse number="11">එහෙත් මරියා සොහොන් ගෙය ළඟ පිටත හඬමින් සිටියා ය. ඈ මෙසේ හඬමින් ම සොහොන් ගෙය ඇතුළට නැමී බැලුවා ය.</verse>
				<verse number="12">එවිට ජේසුස් වහන්සේගේ සිරුර තබා තිබූ ස්ථානයෙහි, සුදු වස්ත්‍ර හැඳගත් දේව දූතයන් දෙදෙනෙකු, එක් කෙනෙක් හිස තැබූ තැන ද තව කෙනෙක් පාද ළඟ ද හිඳිනු දුටුවා ය.</verse>
				<verse number="13">එකල ඔව්හු: “ස්ත්‍රිය, ඔබ හඬන්නේ මන්දැ”යි ඇගෙන් ඇසූ හ. “ඔවුන් මාගේ සමිඳාණන් වහන්සේ ගෙන ගොස් කොතැන තැන්පත් කර ඇද්දැ යි මා නොදන්නා නිසා ය”යි ඈ පිළිතුරු දුන්නා ය.</verse>
				<verse number="14">මෙසේ කියමින් ඈ ආපසු හැරෙද්දී, ජේසුස් වහන්සේ එහි සිටින බව දුටුවා ය. එහෙත් ඒ ජේසුස් වහන්සේ බව ඈ නොදත්තී ය.</verse>
				<verse number="15">“ස්ත්‍රිය, ඔබ හඬන්නේ මන් ද? ඔබ කවරෙකු සොයන්නෙහි දැ”යි ජේසුස් වහන්සේ ඇගෙන් ඇසූ සේක. ඈ උන් වහන්සේ උයන්ගොව්වා යයි සිතා: “මහතාණෙනි, ඔබ උන් වහන්සේ ගෙන ගියා නම්, උන් වහන්සේ කොතැන තැන්පත් කෙළෙහි දැ යි මට කිව මැනව; මම උන් වහන්සේ රැගෙන යමි”යි කීවා ය.</verse>
				<verse number="16">ජේසුස් වහන්සේ, “මරියා” කියා ඈ ඇමතූ සේක. ඈ ද, හැරී, “රබ්බෝනි”යි හෙබ්‍රෙව් බසින් උන් වහන්සේට පිළිවදන් දුන්නා ය. එහි අර්ථය ‘ගුරුදේවයෙනි’ යනුයි.</verse>
				<verse number="17">ජේසුස් වහන්සේ කතා කොට, “මා අල්ලන්නට එපා; මන්ද, මම තව ම පියාණන් වහන්සේ වෙතට නොනැංගෙමි. ඒ නිසා දැන් ඔබ මාගේ සහෝදරයන් වෙතට ගොස්, ‘මම, මාගේ පියාණන් වහන්සේ හා ඔබගේ පියාණන් වහන්සේ ද මාගේ දෙවියන් වහන්සේ හා ඔබගේ දෙවියන් වහන්සේ ද වෙතට නඟින්නෙමි’යි ඔවුන්ට කියන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="18">මග්දලායේ මරියා ශ්‍රාවකයන් වෙතට ගොස්, “මම ජේසුස් වහන්සේ දිටිමි”යි කියා ද, මේ දේවල් උන් වහන්සේ ඈට වදාළ බව ද, ඔවුන්ට දැන්වූවා ය.</verse>
				<verse number="19">සතියේ පළමු වන දා වූ එදා සවස ජුදෙව්වරුන්ට බියෙන් ශ්‍රාවකයන් දොරවල් වසාගෙන සිටි තැනට ජේසුස් වහන්සේ වැඩම කර ඔවුන් මැද සිට, “ඔබට ශාන්තිය වේ වා!’යි වදාළ සේක.</verse>
				<verse number="20">උන් වහන්සේ මෙසේ වදාරා තමන් අත් ද ඇලය ද ඔවුන්ට පෙන්වූ සේක. ශ්‍රාවකයෝ සමිඳාණන් වහන්සේ දුටු කල ප්‍රීතියෙන් පිනාගියහ.</verse>
				<verse number="21">“ඔබට ශාන්තිය වේ වා!”යි යළිත් උන් වහන්සේ ඔවුන්ට වදාරා “පියාණන් වහන්සේ මා එවා වදාළාක් මෙන් මම ද ඔබ යවමි”යි ඔවුන්ට කී සේක.</verse>
				<verse number="22">උන් වහන්සේ ඉක්බිති ඔවුන් පිට හුස්ම හෙළා, “ශුද්ධාත්මයාණන් පිළිගන්න;</verse>
				<verse number="23">ඔබ යමෙකුගේ පව් කමා කරන්නහු ද, ඒවා ඔවුන්ට කමා කරනු ලැබේ; ඔබ යමෙකුගේ පව් කමා නොකරන්නහු ද, ඒවා කමා නොකරනු ලැබේ ය”යි ඔවුන්ට වදාළ සේක.</verse>
				<verse number="24">ජේසුස් වහන්සේ වැඩිය කල, දොළොස් දෙනාගෙන් එක් කෙනෙක් වූ ‘නිවුන් දරුවා’ යයි නම් ලත් තෝමස් ඔවුන් සමඟ නොසිටියේ ය.</verse>
				<verse number="25">එහෙයින් සෙසු ශ්‍රාවකයෝ, “අපි සමිඳාණන් වහන්සේ දුටිමු”යි ඔහුට කී හ. එහෙත් ඔහු කතා කොට, “උන් වහන්සේගේ අත්වල ඇණ කැළැල් දැක, ඇණ ගසා තිබූ තැන්වල මාගේ ඇඟිල්ල තබා, උන් වහන්සේගේ ඇලයෙහි මාගේ අත දමා බැලුවොත් මිස, නැත්නම් විශ්වාස නොකරමි”යි කී ය.</verse>
				<verse number="26">අට දවසකට පසු උන් වහන්සේගේ ශ්‍රාවකයෝ නිවස තුළට වී සිටියෝ ය. තෝමස් ද ඔවුන් සමඟ සිටියේ ය. දොරවල් වසා තිබිණි. එහෙත්, ජේසුස් වහන්සේ පැමිණ, ඔවුන් මැද වැඩ සිට: “ඔබට ශාන්තිය වේ වා!”යි වදාළ සේක.</verse>
				<verse number="27">ඉන්පසු උන් වහන්සේ තෝමස් අමතා, “ඔබේ ඇඟිල්ල මෙහි බහා මාගේ අත් බලන්න; ඔබේ අත දිගු කර මාගේ ඇලයෙහි තබන්න. අවිශ්වාස නොකර විශ්වාස කරන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="28">තෝමස් පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීනි, මාගේ දෙවියෙනි”යි උන් වහන්සේට කී ය.</verse>
				<verse number="29">එවිට ජේසුස් වහන්සේ, “ඔබ මා දුටු බැවින් අදහාගත්තෙහි ය. නුදුටු නමුත් අදහන්නෝ භාග්‍යවන්තයෝ ය”යි වදාළ සේක.</verse>
				<verse number="30">මේ පොතෙහි ලියා නැති වෙනත් බොහෝ හාස්කම් ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් ඉදිරියෙහි සිදු කළ සේක.</verse>
				<verse number="31">එහෙත් මේවා ලියන ලද්දේ, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍ර වන ක්‍රිස්තුවරයාණන් බව ඔබ අදහාගන්නා පිණිසත්, ඇදහීමෙන් ජීවනය ලබන පිණිසත් ය.</verse>
			</chapter>
			<chapter number="21">
				<verse number="1">ඉන්පසු ජේසුස් වහන්සේ තිබේරියස් නම් මුහුද ළඟ දී ශ්‍රාවකයන්ට නැවත දර්ශනය වූ සේක. උන් වහන්සේ දර්ශනය වූයේ මේ අයුරින් ය.</verse>
				<verse number="2">සීමොන් පේදුරු ද ‘නිවුන් දරුවා’ නම් වූ තෝමස් ද ගලීලයේ කානාහි නතානියෙල් ද සෙබදීගේ පුත්‍රයෝ ද උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් තවත් දෙදෙනෙක් ද එක් ව සිටියෝ ය.</verse>
				<verse number="3">සීමොන් පේදුරු, “මම මසුන් අල්ලන්න යමි”යි ඔවුන්ට කී ය. “අපිත් ඔබ සමඟ එමු”යි ඔව්හු ඔහුට කී හ. ඔව්හු පිටත් ව ගොස් ඔරුවට නැංගා හ. එහෙත් ඒ රාත්‍රියේ ඔවුන් කිසිවක් ඇල්ලුවේ නැත.</verse>
				<verse number="4">පහන් වූ කල ජේසුස් වහන්සේ වෙරළෙහි සිටි සේක. එසේ වුවත්, ඒ ජේසුස් වහන්සේ බව ශ්‍රාවකයෝ නොදත්හ.</verse>
				<verse number="5">එවිට ජේසුස් වහන්සේ, “මිත්‍රයෙනි, ඔබ ළඟ මාළු තිබේ දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. ඔව්හු, “නැතැ”යි කී හ.</verse>
				<verse number="6">උන් වහන්සේ ඔවුන් අමතමින්, “ඔරුවේ දකුණු පැත්තෙන් දැල හෙළන්න, එවිට සම්බ වනු ඇතැ”යි වදාළ සේක. එසේ දැල හෙළූ කල, අසුවූ මසුන් රාශිය නිසා දැල ඇද ගන්නට වත් ඔවුන්ට නොහැකි විය.</verse>
				<verse number="7">ජේසුස් වහන්සේ ප්‍රේම කළ ශ්‍රාවකයා පේදුරුට කතා කොට, “අන්න, ඒ ස්වාමීන් වහන්සේ ය”යි කී ය. එවිට සීමොන් පේදුරු ඒ ස්වාමීන් වහන්සේ බව අසා, තමා ඉණ රෙද්ද ලිහාදමා සිටි බැවින්, වහා එය ඇඳගෙන මුහුදට පැන්නේ ය.</verse>
				<verse number="8">එහෙත් සෙසු ශ්‍රාවකයෝ මසුන්ගෙන් පිරුණු දැල ඇදගෙන, කුඩා ඔරුවෙන් ආහ. ඔව්හු වෙරළට නුදුරු ව මීටර් සියයක් පමණ ඈතින් සිටියහ.</verse>
				<verse number="9">ඔව්හු ගොඩට ආ විට එහි ගිනි අඟුරු ද ඒ පිට මාළු තිබෙන බව ද රොටි ද දුටුවෝ ය.</verse>
				<verse number="10">“ඔබ දැන් ඇල්ලූ මසුන්ගෙන් ස්වල්පයක් ගෙනෙන්නැ”යි ජේසුස් වහන්සේ ඔවුන්ට වදාළ සේක.</verse>
				<verse number="11">සීමොන් පේදුරු ඔරුවට නැඟී, ලොකු මසුන් එකසිය පණස්තුන් දෙනෙකුගෙන් පිරුණු දැල ගොඩට ඇද්දේ ය. එපමණ තිබුණ නමුත් දැල ඉරුණේ නැත.</verse>
				<verse number="12">ජේසුස් වහන්සේ කතා කොට, “එන්න, අනුභව කරන්නැ”යි ඔවුන්ට වදාළ සේක. ඒ සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැන සිටි හෙයින්, “ඔබ කවුරු දැ”යි උන් වහන්සේගෙන් අසන්නට ශ්‍රාවකයන්ගෙන් කිසිවෙකුට වත් ධෛර්යය නොතිබිණි.</verse>
				<verse number="13">ජේසුස් වහන්සේ ඇවිත්, රොටි රැගෙන ඔවුන්ට දුන් සේක; එසේ ම මාළුත් දුන් සේක.</verse>
				<verse number="14">මේ වනාහි ජේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ පසු ශ්‍රාවකයන්ට දර්ශනය වූ තුන් වන වතාව ය.</verse>
				<verse number="15">මෙසේ ඔවුන් ආහාර වැළඳූ පසු ජේසුස් වහන්සේ සීමොන් පේදුරුට කතා කොට, “ජොහන්ගේ පුත්‍ර වූ සීමොන්, මොවුන්ට වඩා ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ”යි ඇසූ සේක. ඔහු, “එසේ ය ස්වාමීනි, මා ඔබට ප්‍රේම කරන බව ඔබ දන්නා සේකැ”යි පිළිතුරු දුන්නේ ය. උන් වහන්සේ, “මාගේ බැටළු පැටවුන් පෝෂණය කරන්නැ”යි ඔහුට වදාළ සේක.</verse>
				<verse number="16">නැවත දෙ වන වරටත්, “ජොහන්ගේ පුත්‍ර වූ සීමොන් ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. ඔහු, “එසේ ය, ස්වාමීනි, මා ඔබට ප්‍රේම කරන බව ඔබ දන්නා සේකැ”යි පිළිතුරු දුන්නේ ය. උන් වහන්සේ ද, “මාගේ බැටළුවන්ගේ එඬේරා වන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="17">උන් වහන්සේ තුන් වන වරටත් ඔහුට කතා කොට, “ජොහන්ගේ පුත්‍ර වූ සීමොන්, ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. තුන් වන වරටත්, ‘මට ප්‍රේම කරන්නෙහි දැ’යි ජේසුස් වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේදුරු ශෝක වී: “ස්වාමීනි, ඔබ සියල්ල දන්නා සේක; මා ඔබ වහන්සේට ප්‍රේම කරන බව ඔබ වහන්සේ දන්නා සේකැ”යි කී ය. “මාගේ බැටළුවන් පෝෂණය කරන්නැ”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක.</verse>
				<verse number="18">“ඒකාන්තයෙන් මම ඔබට කියමි, ඔබ තරුණ වියෙහි ඔබේ ඉඟටිය බැඳගෙන කැමැති කැමැති තැන්වල ඇවිද්දෙහි ය. එහෙත් ඔබ මහලු වූ කල ඔබේ අත් දිගු කරන්නෙහි ය, වෙන කෙනෙකු ඔබේ ඉඟටිය බැඳ, ඔබ කැමැති නැති තැනකට ගෙනයනු ඇතැ”යි වදාළ සේක.</verse>
				<verse number="19">ඔහු කෙබඳු මරණයකින් දෙවියන් වහන්සේ ගෞරවයට පමුණුවනු ඇද්දැ යි හඟවනු වස් උන් වහන්සේ මෙසේ වදාළ සේක. ඉක්බිති “මා අනුව එන්නැ”යි නැවතත් ඔහුට කී සේක.</verse>
				<verse number="20">පේදුරු හැරී, ජේසුස් වහන්සේ ප්‍රේම කළාවූ ද රාත්‍රි භෝජනයෙහි දී උන් වහන්සේගේ ළයෙහි හාන්සි වී සිට, ‘ඔබ පාවා දෙන්නේ කවරෙක් දැ’යි ඇසුවාවූ ද ශ්‍රාවකයා තමන් පසුපස්සේ එනු දිටී ය.</verse>
				<verse number="21">පේදුරු ඔහු දැක, “ස්වාමීනි, මොහුට කුමක් වේ දැ”යි ජේසුස් වහන්සේගෙන් ඇසී ය.</verse>
				<verse number="22">ජේසුස් වහන්සේ ද, “මා එනතෙක් ඔහු සිටිනවාට මා කැමැති නම් ඔබට මොක ද?</verse>
				<verse number="23">ඔබ මා අනුව එන්නැ”යි වදාළ සේක. එහෙයින් ඒ ශ්‍රාවකයා නොමැරෙන්නේ ය යන කීම සහෝදරයන් අතර පතළ විය. එසේ වී නමුත් ජේසුස් වහන්සේ, ‘මා එන තුරු ඔහු සිටිනවාට මා කැමැති නම් ඔබට මොක දැ’යි කීවා මිස, ‘ඔහු නොමැරෙන්නේ ය’යි නොවදාළ සේක.</verse>
				<verse number="24">මේ ගැන සාක්ෂි දෙන්නාවූ ද මෙය ලිව්වාවූ ද ශ්‍රාවකයා ඔහු ය. ඔහුගේ සාක්ෂිය සැබෑ බව අපි දනිමු.</verse>
				<verse number="25">ජේසුස් වහන්සේ කළ තවත් බොහෝ දේ ඇත. ඒවා එකින් එක ලිව්වොත්, ලියවෙන ඒ පොත්වලට මුළු ලෝකය වුවත් ඉඩ මදි යයි සිතමි.</verse>
			</chapter>
		</book>
		<book number="44">
			<chapter number="1">
				<verse number="1">තියෝපිලස් තුමෙනි, ජේසුස් වහන්සේ කළා වූ ද ඉගැන්නුවා වූ ද සියලු දේ,</verse>
				<verse number="2">උන් වහන්සේ තෝරාගත් ප්‍රේරිතවරුන්ට ශුද්ධාත්මයාණන් කරණකොටගෙන අණ දී උන් වහන්සේ ස්වර්ගයට ඔසවා ගනු ලැබූ දවස දක්වා මාගේ ප්‍රථම කෘතියෙහි මම විස්තර කෙළෙමි.</verse>
				<verse number="3">උන් වහන්සේගේ මරණයෙන් පසු, සතළිස් දවසක් අතරතුර ඔවුන්ට දර්ශනය වෙමින් ද දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන දේශනා කරමින් ද බොහෝ නිසැක සාක්ෂිවලින් උන් වහන්සේ ජීවමාන ව ප්‍රකාශ වූ සේක.</verse>
				<verse number="4">උන් වහන්සේ ඔවුන් සමඟ ආහාර වළඳමින් සිටිය දී ඔවුන් අමතා, “ඔබ ජෙරුසලමෙන් ඉවත් ව නොගොස්, මා වදාළ පරිදි පියාණන් වහන්සේගේ පොරොන්දුව බලාපොරොත්තුවෙන් සිටින්න.</verse>
				<verse number="5">මන්ද, ජොහන් වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කෙළේ ය; එහෙත් මින් නොබෝ දවසකින් ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් බව්තීස්ම-ස්නාපනය කරනු ලබන්නහු ය”යි වදාළ සේක.</verse>
				<verse number="6">ප්‍රේරිතවරුන් එක්රැස් වූ කල, “ස්වාමීනි, ඔබ යළිත් ඉශ්රායෙල් රාජ්‍යය පිහිටුවන කාලය මෙය දැ”යි ඔව්හු උන් වහන්සේගෙන් ඇසූ හ.</verse>
				<verse number="7">උන් වහන්සේ පිළිතුරු දෙමින්, “පියාණන් වහන්සේ ස්වකීය ආධිපත්‍යයෙන් නියම කළ කාලයන් ද, අවස්ථාවන් ද දැන ගැනීම ඔබට අයිති කාරියක් නොවේ.</verse>
				<verse number="8">එහෙත්, ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පැමිණි කල, ඔබ බලය ලබන්නහු ය. එවිට ඔබ ජෙරුසලමෙහි ද මුළු ජුදයෙහි හා සමාරියෙහි ද පොළොවේ සීමාන්තයන් දක්වා ද මාගේ සාක්ෂි කාරයෝ වන්නහු ය”යි වදාළ සේක.</verse>
				<verse number="9">උන් වහන්සේ මෙසේ වදාරා ඔවුන් බලා සිටිය දී ම ඔසවාගනු ලැබ, වලාකුළකින් වැසී ඔවුන්ට නොපෙනී ගිය සේක.</verse>
				<verse number="10">උන් වහන්සේ යන කල, ඔවුන් අහස දෙස බලාගෙන සිටිය දී, සුදුවතින් සැරසුණු මනුෂ්‍යයෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිට,</verse>
				<verse number="11">“ගලීලයේ වැසියෙනි, ඔබ අහස දෙස බලාගෙන සිටින්නේ කුමට ද? ඔබ කෙරෙන් ඔසවාගනු ලැබූ මෙම ජේසුස් වහන්සේ ස්වර්ගයට නඟිනු දුටු සේ ම, ආපසු වඩිනු ඇතැ”යි කී හ.</verse>
				<verse number="12">එකල ඔව්හු ජෙරුසලමට සබත් දවසක ගමන් දුර වූ ඔලීව නම් කන්දේ සිට ජෙරුසලමට පෙරළා පැමිණියහ.</verse>
				<verse number="13">ඔව්හු නගරයට පිවිස තමන් නවාතැන් ගෙන සිටි උඩුමහල් මැදුරට නැඟුණාහ. ඔව්හු නම්: පේදුරු, ජොහන්, ජාකොබ් සහ ඇන්ඩෘ ද පිලිප් සහ තෝමස් ද බර්තොලමෙව් සහ මතෙව් ද අල්පෙවුස්ගේ පුත්‍ර වූ ජාකොබ් ද අන්ත ජාතිවාදී සීමොන් සහ ජාකොබ්ගේ පුත්‍ර වූ ජූදස් ද යන මොවුහු ය.</verse>
				<verse number="14">මේ සියලු දෙනා, ස්ත්‍රීන් ද ජේසුස් වහන්සේගේ මෑණියන් වූ මරිය තුමිය ද උන් වහන්සේගේ සහෝදරයන් ද සමඟ එක්සිත් ව නොකඩ ව යාච්ඤාවේ නිරත වූ හ.</verse>
				<verse number="15">මෙසේ, එක සිය විසි දෙනෙකු පමණ පිරිසක් රැස් ව සිටි විට, පේදුරු තුමා සහෝදරයන් මැද නැඟිට ඔවුන්ට මෙසේ කී ය:</verse>
				<verse number="16">“සහෝදරවරුනි, ජේසුස් වහන්සේ අල්ලාගත් අයට මඟ පෙන්වා දුන් ජූදස් ගැන ශුද්ධාත්මයාණන් වහන්සේ දාවිත්ගේ මුඛයෙන් ප්‍රකාශ කළ ශුද්ධ ලියවිල්ල සම්පූර්ණ විය යුතු ව තිබිණි.</verse>
				<verse number="17">මන්ද, ඔහු අප සමඟ ගණන්ගනු ලැබ, මේ සේවයෙහි තමාට හිමි කොටස ලැබී ය.</verse>
				<verse number="18">මේ මිනිසා, සිය ද්‍රෝහිකමෙන් ලත් මුදලින් ඉඩමක් මිලයට ගත්තේ ය. ඔහු එහි මුහුණින් වැටී, මැදින් පැළුණේ ය. ඔහුගේ බඩවැල් සියල්ල පිටතට වීසි විය.</verse>
				<verse number="19">ජෙරුසලම් වැසි සියල්ලන්ට එය සැළ විය. එබැවින් ඔව්හු ඒ ඉඩමට ඔවුන්ගේ බසින් ‘ලේ බිම’ යන අරුත ඇති ‘අකෙල්දෙමා’ යයි කී හ.</verse>
				<verse number="20">මන්ද යත්: ‘ඔහුගේ වාසස්ථානය පාළු වේ වා! කිසිවෙක් එහි වාසය නොකෙරෙත් වා!’ කියා ද, ‘ඔහුගේ තනතුර වෙන කෙනෙක් ගනිත් වා!’ කියා ද ගීතාවලියේ ලියා තිබේ.</verse>
				<verse number="21">එබැවින් ජේසුස් වහන්සේගේ පුනරුජ්ජීවනය පිළිබඳ ව අප සමඟ සාක්ෂි දරන පිණිස යම් කිසිවෙකු අපට එක් විය යුතු ව තිබේ. ජොහන් බව්තීස්ම-ස්නාපනය පටන්ගත් දා සිට, ජේසුස් සමිඳාණන් වහන්සේ අප කෙරෙන් ඔසවාගනු ලැබූ දින දක්වා, උන් වහන්සේ අප අතර ආ ගිය මුළු කාලය තුළ, ඔහු නිතර ම අප සමඟ සිටි අයගෙන් එක් කෙනෙකු විය යුතු ය.”</verse>
				<verse number="22">***</verse>
				<verse number="23">එබැවින් ඔව්හු දෙදෙනෙකු ඉදිරිපත් කළහ. ඒ යුස්තස් යන තවත් නමක් දැරූ බාර්සබස් නමින් හඳුන්වනු ලැබූ ජෝසෙප් සහ මතියස් යන දෙදෙනා ය.</verse>
				<verse number="24">ඉන්පසු ඔව්හු යාච්ඤා කරමින්, “සියලු මිනිසුන්ගේ සිත් දන්නා වූ ස්වාමීනි, තමාට නියම ස්ථානයට යන පිණිස ජූදස් විසින් අත්හරින ලද මේ සේවයේත් ප්‍රේරිතකමේත් පුරප්පාඩුව පිරවීමට මොවුන් දෙදෙනාගෙන් ඔබ වහන්සේ තෝරාගත් තැනැත්තා කවරෙක් දැ යි පෙන්නුව මැනවැ”යි කී හ.</verse>
				<verse number="25">***</verse>
				<verse number="26">එකල ඔව්හු ඔවුන් පිළිබඳ ව දාදු දැමූ හ; දාදුව මතියස්ට වැටිණි. එහෙයින් ඔහු ද ප්‍රේරිතවරුන් එකොළොස් දෙනා සමඟ ගණන්ගන්නා ලදී.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">තවද, පෙන්තකොස්ත දිනය පැමිණි කල, ඔව්හු සියල්ලෝ එක් තැනක රැස් ව සිටියාහ.</verse>
				<verse number="2">එකල, සැඩ සුළඟක් හමන්නාක් වැනි හඬක් හදිසියෙන් අහසින් නික්මුණේ ය. ඔවුන් හිඳගෙන සිටි ගෙය මුළුමනින් ම එයින් පිරී ගියේ ය.</verse>
				<verse number="3">ගිනි දලු වැනි දිව් බෙදී ගොස් ඔවුන් එකිනෙකා මත පිහිටනු ඔවුන්ට පෙනිණි.</verse>
				<verse number="4">ඔව්හු සියල්ලෝ ම ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වී ආත්මයාණන් ඔවුන්ට දුන් කතා ශක්තිය ලෙස අන්‍ය භාෂාවලින් කතා කරන්නට පටන්ගත්හ.</verse>
				<verse number="5">එකල මිහි පිට හැම රටකින් ම පැමිණි බැතිමත් ජුදෙව්වරු ජෙරුසලමෙහි සිටියෝ ය.</verse>
				<verse number="6">මේ ශබ්දය ඇසුණු කෙණෙහි ම සමූහයා එක්රැස් වූ හ. එම කතා ඔවුන් එකිනෙකාට තම තමන්ගේ මවු බසින් තේරුම් ගත හැකි ලෙස ඇසුණෙන් ඔව්හු වික්ෂිප්ත වූ හ.</verse>
				<verse number="7">ඔව්හු සියල්ලෝ පුදුමයෙන් පුදුමයට පත් ව, “බලන්න, මේ කතා කරන සියල්ලෝ ගලීලයෝ නොවෙත් ද?</verse>
				<verse number="8">අපට හුරු පුරුදු අපේ ම මවු බසින් ඔවුන් කතා කරනු අප එකිනෙකාට ඇසෙන්නේ කෙසේ ද?</verse>
				<verse number="9">පාතිවරුන් ද මේදවරුන් ද එලාම්වරුන් ද මෙසොපොතේමියාවෙහිත් ජුදය සහ කපදෝකියෙහිත්, පොන්තසය සහ ආසියාවෙහිත්,</verse>
				<verse number="10">පිරිගිය සහ පම්පිලියායෙහිත්, මිසරය සහ සිරේනිය අවට ලිබියේ ප්‍රදේශවලත් යන මෙකී දේශවාසීන් ද රෝමයෙන් පැමිණි අමුත්තන් වන ජුදෙව්වරුන් හා ජුදෙව් ආගම වැළඳගත්තවුන් ද</verse>
				<verse number="11">ක්‍රීතවරුන් හා අරාබිවරු ද වන අපි, අපේ ම භාෂාවලින් දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියා ගැන ඔවුන් කතා කරනු අසම්හ”යි කී හ.</verse>
				<verse number="12">ඔව්හු සියල්ලෝ ම විස්මිත ව, වියවුල් ව, “මෙහි තේරුම කිමෙක් දැ”යි ඔවුනොවුන් අතර කතා කරගත්හ.</verse>
				<verse number="13">එහෙත් සමහරෙක් සරදම් කරමින්, “මොවුන් අලුත් මිදියුස පමණට වඩා බී ඇතැ”යි කී හ.</verse>
				<verse number="14">එවිට එකොළොස් දෙනා සමඟ නැඟී සිටි පේදුරු තුමා ශබ්ද නඟා ඔවුන්ට මෙසේ කී ය: “ජුදෙව් ජනයිනි, ජෙරුසලමේ වසන සියල්ලෙනි, මෙය දැනගන්න; මගේ වචනවලට සාවධාන ව සවන් දෙන්න.</verse>
				<verse number="15">තව ම වේලාව උදේ නවය බැවින් ඔබ සිතන හැටියට මේ අය වෙරි වී නැත.</verse>
				<verse number="16">මේ සිද්ධිය නම් ජෝවෙල් දිවැසිවරයා කී දෙය ඉටු වීමකි. ඒ මෙලෙස ය:</verse>
				<verse number="17">
					“දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක:
					අන්තිම දවස්වල දී සකල මනුෂ්‍යයන් මාගේ ආත්මානුභාවයෙන් පුරවා ලමි. එවිට ඔබේ දූ පුත්තු දිවැසි වැකි කියති; ඔබේ තරුණයෝ දර්ශන දකිති, ඔබේ මහල්ලෝ ද පැතුම් පතති.
				</verse>
				<verse number="18">එපමණක් නොව, ඒ දවස්වල දී මාගේ දැසිදසුන්ට වුව ද මාගේ ආත්මානුභාවය ප්‍රදානය කරන්නෙමි; ඔව්හු ද දිවැස් වැකි පවසති.</verse>
				<verse number="19">තවද, ඉහළ අහසේ අරුමපුදුම දේ ද, පහත පොළොවේ ලකුණු ද දක්වාලමි. ලේ ද ගිනි ද දුම්වලාපටල ද ඇති වේ.</verse>
				<verse number="20">සමිඳාණන් වහන්සේගේ උදාර තේජාන්විත ඒ දවස පහළ වන්නට පෙර, ඉර අඳුරු වන්නේ ය. හඳ ලේ පාට වන්නේ ය.</verse>
				<verse number="21">සමිඳාණන් වහන්සේගේ නාමය කියා අයැදින කවුරු නමුත් ගළවනු ලබන්නෝ ය.’</verse>
				<verse number="22">“ඉශ්රායෙල් ජනයිනි, මේ වචනයට සවන් දෙන්න. ඔබ ම දන්නා ලෙස, නාසරෙත්හි ජේසුස් වහන්සේ, දෙවියන් වහන්සේ විසින් තෝරා පත් කළ මනුෂ්‍යයෙකි. ඒ බව, දෙවියන් වහන්සේ උන් වහන්සේ මඟින් ඔබ අතර කළ ප්‍රබල ක්‍රියාවලින් ද අරුමපුදුම දේවලින් ද ලකුණුවලින් ද පෙන්වූ සේක.</verse>
				<verse number="23">එම ජේසුස් වහන්සේ, දෙවියන් වහන්සේගේ නියමිත අභිප්‍රාය හා පෙර දැනුම අනුව, පාවා දෙනු ලැබූ සේක. ඔබ අදමිටු මිනිසුන් ලවා උන් වහන්සේ කුරුසියේ ඇණ ගස්වා මරා දැමුවහු ය.</verse>
				<verse number="24">එහෙත් දෙවියන් වහන්සේ මරණ බන්ධනයෙන් උන් වහන්සේ මුදා උත්ථාන කර වදාළ සේක. මන්ද, මරණයට උන් වහන්සේ බැඳ තබාගත නොහැකි විය.</verse>
				<verse number="25">දාවිත් උන් වහන්සේ ගැන කතා කරමින් මෙසේ කී ය: ‘සමිඳාණන් වහන්සේ නිරතුරු මා ඉදිරියේ සිටිනු දුටිමි; මා නොසැලෙන පිණිස උන් වහන්සේ මාගේ දකුණු පසෙහි සිටින සේක.</verse>
				<verse number="26">එබැවින් මාගේ හද සොම්නස් විය; මාගේ වචන ප්‍රමුදිත විය; මාගේ සිරුර ද බලාපොරොත්තුවෙන් පුල පුලා සිටින්නේ ය.</verse>
				<verse number="27">මන්ද, ඔබ වහන්සේ, මාගේ ජීවිතය පාතාලයේ දමන්නේ වත්, ඔබගේ දැහැමි තැනැත්තා ජරාපත් වන්නට ඉඩ දෙන්නේ වත් නැත.</verse>
				<verse number="28">ඔබ ජීවනයේ මාර්ගයන් මට දැන් වූ සේක. ඔබගේ වැඩවිසීමෙන් ඔබ මා ප්‍රීතියෙන් පුරවන සේක.</verse>
				<verse number="29">“සහෝදරවරුනි, ආදි පිතෘ වන දාවිත් මළ බවත්, තැන්පත් කරනු ලැබූ බවත් නොවළහා කියන්නට කැමැත්තෙමි. ඔහුගේ සොහොන අද දක්වා අප අතර ඇත.</verse>
				<verse number="30">ඔහු දිවැසිවරයෙකු වූ බැවින්, ඔහුගේ වංශයෙන් කෙනෙකු ඔහුගේ සිංහාසනය පිට හිඳුවන සේකැ යි දෙවියන් වහන්සේ දිවුරුමකින් ඔහුට දිවුළ බව ඔහු දැන ගත්තේ ය.</verse>
				<verse number="31">ඔහු මෙය කල් මත්තෙන් දැක, ක්‍රිස්තුන් වහන්සේගේ පුනරුජ්ජීවනය ගැන කතා කරමින්, ‘උන් වහන්සේ පාතාලයේ හැරදමනු නොලැබූ බවත්, උන් වහන්සේගේ සිරුර ජරාපත් නොවූ බවත්’ කී ය.</verse>
				<verse number="32">“දෙවියන් වහන්සේ මෙම ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථාන කොට වදාළ සේක. එයට අපි සියල්ලෝ සාක්ෂිකාරයෝ වෙමු.</verse>
				<verse number="33">උන් වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණතින් උසස් කරනු ලැබ, පියාණන් වහන්සේ පොරොන්දු වූ ශුද්ධාත්මයාණන් ලබා, ඔබ අසන දකින මේ දේ ප්‍රදානය කළ සේක.</verse>
				<verse number="34">එහෙත් දාවිත් ස්වර්ගයට නැඟුණේ නැත. මන්ද, ඔහු ම, ‘මා ඔබේ සතුරන් ඔබේ පා යට ලන තෙක් මාගේ දකුණු පස අසුන් ගන්න කියා සමිඳාණෝ මා සමිඳුන්ට වදාළ සේකැ’යි කියයි.</verse>
				<verse number="35">***</verse>
				<verse number="36">“එබැවින් ඔබ කුරුසියෙහි ඇණ ගැසූ මේ ජේසුස් වහන්සේ, දෙවියන් වහන්සේ විසින් ස්වාමීන් බවටත්, ක්‍රිස්තුන් බවටත්, පත් කර වදාළ බව මුළු ඉශ්රායෙල් ජනතාව සහතික ලෙස දැන ගනිත් වා.”</verse>
				<verse number="37">ඔව්හු ඒ අසා සන්තාපිත සිත් ඇති ව “සහෝදරවරුනි, අප කුමක් කළ යුතු දැ”යි පේදුරුගෙන් ද අනෙක් ප්‍රේරිතයන්ගෙන් ද විචාළහ.</verse>
				<verse number="38">පේදුරු තුමා පිළිතුරු දෙමින්, “ඔබ සියලුදෙනා ම පසුතැවී සිත් හරවා ගෙන පව්කමාව ලබන පිණිස ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් බව්තීස්ම-ස්නාපනය ලබන්න. එවිට ඔබ ශුද්ධාත්ම දීමනාව ලබන්නහු ය.</verse>
				<verse number="39">මන්ද, ඒ පොරොන්දුව ඔබටත්, ඔබගේ දරුවන්ටත්, දුර බැහැර වෙසෙන අන් අයටත්, සැබැවින් ම, අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේ විසින් කැඳවනු ලබන සියල්ලන්ටත් ය”යි කී ය.</verse>
				<verse number="40">ඔහු තවත් බොහෝ වචනවලින් උදක් ම අයැදිමින්, “මේ කුහක පරම්පරාවෙන් ගැළවෙන්නැ”යි ඔවුන්ට අනුශාසනා කෙළේ ය.</verse>
				<verse number="41">එවිට ඔහුගේ වචනය පිළිගත් අය බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ හ. ඒ දවසේ දී තුන්දාහක් පමණ පුද්ගලයෝ ඔවුන්ගේ සංබ්‍යාවට එකතු කරන ලදහ.</verse>
				<verse number="42">ඔව්හු ප්‍රේරිතවරුන්ගේ ඉගැන්වීමෙහි ද, සහභාගිකමෙහි ද රොටි කැඩීමෙහි ද යාච්ඤාවෙහි ද නිරත ව කල් ගත කළහ.</verse>
				<verse number="43">සියලු දෙනා තුළ ගෞරවාන්විත භීතියක් ඇති විය. ප්‍රේරිතවරුන් අතින් බොහෝ අරුමපුදුම දේ හා ලකුණු සිදු විය.</verse>
				<verse number="44">ඇදහිලිවතුන් සියල්ලෝ එක් වී හැම දෙය ම පොදුවේ තබාගත්හ.</verse>
				<verse number="45">ඔව්හු තමන්ගේ ඉඩකඩම් හා දේපළ විකුණා එකිනෙකාගේ වුවමනාවේ හැටියට සියලු දෙනා අතර බෙදාගත්හ.</verse>
				<verse number="46">තවද, ඔව්හු දිනපතා නොකඩ ව ම, එක්සිත් ව දේව මාලිගාවේ රැස් වෙමින් ද ගෙයින් ගෙට යමින් රොටි කඩමින් ද තම තමන් අතර ප්‍රීතියෙනුත්, ත්‍යාගිවන්ත සිතිනුත් ආහාර බෙදාගනිමින් ද</verse>
				<verse number="47">දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් හා සියල්ලන්ගේ ප්‍රසාදය ලබමින් ද කල් යැවූ හ. සමිඳාණන් වහන්සේ ගැළවීම ලබන්නන්ගේ ගණන දවසින් දවස වැඩිකර වදාළ සේක.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">දිනක් පේදුරු සහ ජොහන් යාච්ඤා වේලාව වූ සවස තුනට දේව මාලිගයට ගියහ.</verse>
				<verse number="2">උපන් දා පටන් කොර ව සිටි එක්තරා මිනිසෙක් විය. දේව මාලිගාවට ඇතුළු වන්නන්ගෙන් සිඟමන් ඉල්ලන පිණිස, දේව මාලිගාවේ ‘සුදර්ශන’ නම් ලත් දොරටුව ළඟ දිනපතා ඔහු තබන ලදී.</verse>
				<verse number="3">ඔහු පේදුරු සහ ජොහන් දේව මාලිගාවට ඇතුළුවන්නට යන බව දැක සිඟමන් ඉල්ලී ය.</verse>
				<verse number="4">පේදුරු ජොහන් සමඟ ඔහු දෙස නෙත් යොමා, “අප දෙස බලන්නැ”යි කී ය.</verse>
				<verse number="5">ඔහු ද ඔවුන්ගෙන් යමක් ලබන බලාපොරොත්තුවෙන් ඔවුන් දෙස ඕනෑකමින් බැලී ය.</verse>
				<verse number="6">එවිට පේදුරු, “රන් වත් රිදී වත් මට නැත. එහෙත් මට ඇති දේ ඔබට දෙමි; නාසරෙත්හි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ඇවිදින්නැ”යි කී ය.</verse>
				<verse number="7">එසේ කියා පේදුරු තුමා ඔහුගේ දකුණත අල්ලා ඔහු නැඟිටුවාලී ය. එකෙණෙහි ම ඔහුගේ පාද සහ වළලුකර ශක්ති සම්පන්න විය.</verse>
				<verse number="8">ඔහු උඩ පැන කෙළින් සිට ඇවිදින්නට විය. තවද, ඇවිදිමින් ද, උඩ පනිමින් ද, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ද ඔහු ඔවුන් සමඟ දේව මාලිගාවට ඇතුළු විය.</verse>
				<verse number="9">ඔහු ඇවිදිනවාත්, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවාත් සියලු දෙනා දුටුවෝ ය.</verse>
				<verse number="10">දේව මාලිගාවේ ‘සුදර්ශන’ දොරටුව ළඟ හිඳගෙන සිඟමන් ඉල්ලුවේ මේ මිනිසා බව හඳුනා ගත් ඔව්හු ඔහුට සිදුවූ දේ ගැන පුදුමයෙන් පුදුමයට පත් වූ හ.</verse>
				<verse number="11">පේදුරු සහ ජොහන් ඔහුගේ අතින් අල්ලාගෙන සලමොන්ගේ සක්මන් මළුවෙහි සිටිනු දුටු සමූහයා අතිශයින් පුදුම වී ඔවුන් වෙතට දිවූ හ.</verse>
				<verse number="12">පේදුරු ඒ සෙනඟට මෙසේ කී ය: “ඉශ්රායෙල් ජනයිනි, මේ ගැන ඔබ පුදුම වන්නේ කුමක්නිසා ද? අපේ ම බලයෙන් වත් යහපත්කමින් වත් අප මේ මිනිසා ඇවිදින්නට සැලසුවාක් මෙන් අප දෙස නෙත් යොමා මවිතයෙන් බලන්නේ මන් ද?</verse>
				<verse number="13">ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවි වූ අපගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ තමන් සේවකයා වූ ජේසුස් වහන්සේ මහිමයට පැමිණ වූ සේක. එහෙත් ඔබ උන් වහන්සේ නඩු ශාලාවට පැමිණෙව්වහු ය. තවද පිලාත් උන් වහන්සේ නිදහස් කරන්නට තීරණය කරගෙන සිටි විට ඔහු ඉදිරියේ ම ඔබ උන් වහන්සේ ප්‍රතික්ෂේප කළහු ය.</verse>
				<verse number="14">ඔබ සුවිශුද්ධ වූ ධර්මිෂ්ඨ වූ තැනැන් වහන්සේ ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට මිනීමරුවෙකු මුදා දෙන මෙන් ඉල්ලා සිටියහු ය.</verse>
				<verse number="15">මෙසේ ඔබ ජීවනේශ්වරයාණන් මරණයට පත් කළහු ය. එහෙත් දෙවියන් වහන්සේ උන් වහන්සේ මරණයෙන් උත්ථාන කර වදාළ සේක. අපි ඊට සාක්ෂිකාරයෝ වම්හ.</verse>
				<verse number="16">දැන් ඔබ ඉදිරියේ සිටින ඔබ හඳුනන මේ මිනිසා සම්පූර්ණ සුවය ලැබුවේ උන් වහන්සේගේ නාමයෙන් හා ඒ නාමය කෙරෙහි ඇති ඇදහිල්ල කරණකොටගෙන ය.</verse>
				<verse number="17">“දැන් ඉතින් සහෝදරවරුනි, ඔබගේ ප්‍රධානීන් මෙන් ම, ඔබ ද, නොදැනුම්කමින් ක්‍රියා කළ බව මම දනිමි.</verse>
				<verse number="18">එසේ වුවත්, ස්වකීය ක්‍රිස්තුන් වහන්සේ දුක් විඳිය යුතු යයි දෙවියන් වහන්සේ සියලු දිවැසිවරයන්ගේ මුවින් පෙර දන්වා වදාළ දේ, මෙසේ සම්පූර්ණ කළ සේක.</verse>
				<verse number="19">එබැවින්, ඔබේ පව් මකාලන පිණිස ද දෙවියන් වහන්සේ කෙරෙන් නව ජීවන යුගයක් පැමිණෙන පිණිස ද</verse>
				<verse number="20">ඔබ උදෙසා පෙර නියම කරන ලද ක්‍රිස්තුන් නම් ජේසුස් වහන්සේ එවා වදාරන පිණිස ද පසුතැවී සිත් හරවා ගෙන දෙවියන් වහන්සේ වෙතට හැරෙන්න.</verse>
				<verse number="21">ආදි යුගවල සිට දෙවියන් වහන්සේ ස්වකීය ශුද්ධ දිවැසිවරයන්ගේ මුවින් දැන්වූ, මුළු ලොවට නව ජීවනය දීමේ කාලය පැමිණෙන තුරු උන් වහන්සේ ස්වර්ගයේ වැඩ විසිය යුතු ය.</verse>
				<verse number="22">මන්ද, ‘ඔබගේ දෙවි ස්වාමීන් වහන්සේ මා එවා වදාළාක් මෙන් ඔබේ සහෝදරයන් අතුරෙන් ම දිවැසිවරයෙකු ඔබ හට එවා වදාරන සේක. ඔහු ඔබට වදාරන සියල්ලට ඔබ සවන් දිය යුතු ය.</verse>
				<verse number="23">ඒ දිවැසිවරයාට සවන් නොදෙන හැම කෙනෙක් ම සෙනඟ අතරෙන් සහමුලින් ම විනාශ කරනු ලැබෙති’යි මෝසෙස් කී ය.</verse>
				<verse number="24">තවද, සාමුවෙල් පටන් පහළ වූ සියලු දිවැසිවරු ද එසේ ම පැවසූ හ; මේ දවස් ගැනත් නිවේදනය කළහ.</verse>
				<verse number="25">ඔබ වනාහි දිවැසිවරුන්ගේ ද ‘ඔබේ වංශය කරණකොටගෙන මිහි පිට සියලු පවුල් ආශීර්වාද කරනු ලබන්නේ ය’යි දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට වදාරමින් ඔබේ පියවරුන් සමඟ කළ ගිවිසුමේ ද පුත්‍රයෝ වන්නහු ය.</verse>
				<verse number="26">දෙවියන් වහන්සේ ස්වකීය සේවකයාණන් උත්ථාන කොට, පළමුවෙන් ම උන් වහන්සේ එවා වදාළේ ඔබ වෙතට ය. එසේ කෙළේ ඔබ හැම කෙනෙකු ම තම තමාගේ අදමිටුකම්වලින් හරවා ආශීර්වාද කරනු පිණිස ය.”</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">පේදුරු තුමා සහ ජොහන් තුමා සෙනඟට කතා කරමින් සිටිය දී, පූජකයෝ ද දේව මාලිගාවේ මුර සෙබළුන්ගේ ප්‍රධානියා ද සද්දුසිවරු ද ඔවුන් අබිමුවට කඩා වැදුණාහ.</verse>
				<verse number="2">ඔවුන් සෙනඟට අනුශාසනා කළ නිසා ද ජේසුස් වහන්සේගේ උත්ථානය මඟින් පුනරුජ්ජීවනය ඇති වන බව ප්‍රකාශ කළ නිසා ද ඔව්හු අතිශයෙන් උදහස් වූ හ.</verse>
				<verse number="3">ඔව්හු ඔවුන් අත්අඩංගුවට ගෙන, සවස් වී තිබුණු බැවින්, පසු දා වන තුරු හිර අඩස්සියේ තැබූ හ.</verse>
				<verse number="4">එහෙත් පණිවුඩය ඇසූ බොහෝ දෙනෙක් අදහාගත්හ. ඒ පිරිමින්ගේ ගණන පන්දහසක් පමණ විය.</verse>
				<verse number="5">පසුවදා ඔවුන්ගේ ප්‍රධානීහු ද ප්‍රජා මූලිකයෝ ද විනයධරයෝ ද යන මොවුහු,</verse>
				<verse number="6">උත්තම පූජක අන්නස් ද කායාපස් ද ජොහන් ද අලෙක්සන්දර් ද ඇතුළු උත්තම පූජක පරපුරට අයිති සියලු දෙනා ද සමඟ ජෙරුසලමේ රැස් වූ හ.</verse>
				<verse number="7">ඔව්හු ප්‍රේරිතවරුන් දෙදෙනා සභාව මැද සිටුවා, “ඔබ කුමන බලයකින්, කවරෙකුගේ නාමයෙන් මෙය කළහු දැ”යි විචාළහ.</verse>
				<verse number="8">එවිට පේදුරු ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව ඔවුන් අමතා මෙසේ කී ය: “ප්‍රධානියෙනි, ප්‍රජා මූලිකයෙනි,</verse>
				<verse number="9">කොර මිනිසෙකුට කරන ලද කාරුණික ක්‍රියාව ගැන හා ඔහු සුවපත් කරන ලද්දේ කෙසේ ද යන්න ගැන හා අද අපි විමසනු ලබමු නම්,</verse>
				<verse number="10">එයට අපේ පිළිතුර මෙසේ ය: ඔබ විසින් කුරුසියේ ඇණ ගසන ලද්දා වූ ද දෙවියන් වහන්සේ විසින් උත්ථාන කරන ලද්දා වූ ද නාසරෙත්හි ජේසුස් වහන්සේගේ අනුහසින් ඔබ ඉදිරියේ මේ මිනිසා සුව සම්පන්න ව සිටියි. ඒ බව ඔබ සියලු දෙනාත්, මුළු ඉශ්රායෙල් ජනයාත් දැන ගනිත් වා.</verse>
				<verse number="11">උන් වහන්සේ වනාහි ‘ගෘහ ශිල්පීන් වන ඔබ විසින් ප්‍රතික්ෂේප කරන ලද ගල ය. එහෙත් උන් වහන්සේ ම ප්‍රධාන ගල වූ සේක.’</verse>
				<verse number="12">අන් කිසිවෙකු මඟින් ගැළවීමක් නැත; මන්ද, අපේ ගැළවීම සලසා දෙන ලද අන් කිසි නාමයක් මුළු ලොවෙහි ම මිනිසුන් අතර නැත.”</verse>
				<verse number="13">උගත්කමක් නැති සාමාන්‍ය මිනිසුන් වශයෙන් සිටි පේදුරුගේ ද ජොහන්ගේ ද නිර්භීතකම දුටු ඔව්හු මවිත වූ හ. ඔවුන් ජේසුස් වහන්සේ ඇසුරෙහි සිටියවුන් බව ද පෙනී ගියේ ය.</verse>
				<verse number="14">සුවපත් කරනු ලැබූ මිනිසා ඔවුන් සමඟ සිටි බැවින්, ඒ දෙදෙනාට විරුද්ධ ව කිසිවක් කියන්නට ඔවුන්ට නොහැකි විය.</verse>
				<verse number="15">එබැවින් මන්ත්‍රණ සභාවෙන් බැහැර යන්නට ඔවුන්ට අණ කර, ඔව්හු තම තමන් අතර සාකච්ඡා කරමින් මෙසේ කී හ:</verse>
				<verse number="16">“අපි මේ මිනිසුන්ට කුමක් කරමු ද? ඔවුන් විසින් විශිෂ්ඨ, අරුමපුදුම දෙයක් කරන ලද බව ජෙරුසලමෙහි සියලු වැසියන්ට පෙනී ගොස් ඇත. එවැන්නක් නැතැ යි කියන්නට අපට නොහැකි ය.</verse>
				<verse number="17">එබැවින්, ජනයා අතර එය තවදුරටත් පතළ නොවන පිණිස මින්පසු මේ නාමයෙන් කිසි ම කෙනෙකුට කතා නොකරන මෙන් අපි ඔවුන්ට තර්ජනය කරමු.”</verse>
				<verse number="18">ඉන්පසු ඔව්හු ඔවුන් කැඳවා ජේසුස් වහන්සේගේ නාමයෙන් කොහෙත් ම කතා නොකරන මෙන් ද නූගන්වන මෙන් ද ඔවුන්ට අණ කළහ.</verse>
				<verse number="19">එහෙත් පේදුරු ද ජොහන් ද පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේට කීකරු වීමට වඩා ඔබට කීකරු වීම හරි දැ යි, දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ ම විනිශ්චය කරගන්න.</verse>
				<verse number="20">මන්ද, අප ඇසූ දුටු දේ ගැන කතා නොකර සිටින්නට අපට නොහැකි ම ය”යි කී හ.</verse>
				<verse number="21">ඔව්හු ඔවුන්ට තවදුරටත් තර්ජනය කොට නිදහස් කර යන්නට හැරියෝ ය. සිදු වූ දේ ගැන සියලු දෙනා දෙවියන් වහන්සේට ප්‍රශංසා කළ බැවින්, ජනයා නිසා ඒ දෙදෙනාට දඬුවම් කිරීමට ඔවුන්ට මඟක් නො වී ය.</verse>
				<verse number="22">පුදුම ලෙස සුවපත් කරනු ලැබූ මේ මිනිසා අවුරුදු සතළිසක් ඉක්මවූවෙකි.</verse>
				<verse number="23">පේදුරු හා ජොහන් නිදහස් කරනු ලැබූ පසු, සිය මිතුරන් වෙතට ගොස්, නායක පූජකයන් ද ප්‍රජා මූලිකයන් ද තමන්ට කී දේ සැළ කළහ.</verse>
				<verse number="24">මෙය ඇසූ ඔව්හු, එක හඬින් දෙවියන් වහන්සේට මෙසේ යාච්ඤා කළහ: “මහෝත්තම ස්වාමීනි, අහසත්, පොළොවත්, මුහුදත්, එහි ඇති සියල්ලත් මැව්වේ ඔබ වහන්සේ ය.</verse>
				<verse number="25">ශුද්ධාත්මයාණන් කරණකොටගෙන, ඔබගේ දාසයා වූ ද අපගේ පියා වූ ද දාවිත් රජුගේ මුඛයෙන් කතා කරමින්, ‘විජාතීන් කෝප වූයේ කුමට ද? ජනයන් නිෂ්ඵල උපා යෙදූයේ කුමට ද?</verse>
				<verse number="26">සමිඳාණන් වහන්සේට ද සිය මෙසියස්වරයාණන්ට ද විරුද්ධ ව, පොළොවේ රජවරු සැරසී සිටියාහ, අධිපතියෝ ද එක්රැස් වූ හ’යි ඔබ වහන්සේ වදාළ සේක.</verse>
				<verse number="27">සැබැවින් ම, ඔබ ආලේප කළ ඔබගේ සුවිශුද්ධ සේවකයාණන් වූ ජේසුස් වහන්සේට විරුද්ධ ව හෙරොද් හා පොන්තියුස් පිලාත්, විජාතීන් ද, ඉශ්රායෙල් ජනයා ද සමඟ මේ නුවර රැස් වූ හ.</verse>
				<verse number="28">එසේ කෙළේ ඔබගේ බලයෙන් හා කැමැත්තෙන් සිදුවන්නට ඔබ පෙර නියම කළ සියල්ල ඉටුවන පිණිස ය.</verse>
				<verse number="29">දැන් ඉතින් ස්වාමීනි, ඔවුන්ගේ තර්ජන සලකා බලා ඔබගේ වචනය නිර්භීත ව ප්‍රකාශ කිරීමට ඔබගේ දාසයන්ට වර දුන මැනව.</verse>
				<verse number="30">සුව කිරීමට ඔබගේ හස්තය දිගු කළ මැනව; තවද, ඔබගේ සුවිශුද්ධ සේවකයාණන් වූ ජේසුස් වහන්සේගේ නාමානුභාවයෙන් ලකුණු ද අරුමපුදුම දේ ද සිදු කළ මැනව.”</verse>
				<verse number="31">මෙසේ යාච්ඤා කළ පසු, ඔවුන් රැස් ව සිටි ස්ථානය කම්පා විය. ඔව්හු සියල්ලෝ ම ශුද්ධාත්මයාණන්ගෙන් පිරී, දෙවියන් වහන්සේගේ වචනය නිර්භීත ලෙස ප්‍රකාශ කළහ.</verse>
				<verse number="32">එකල ඇදහිලිවතුන් සමූහයා එක්සත් ව, එක්සිත් ව සිටිය හ; තමන් සතු දෙයින් කිසිවක් තමාගේ ම යයි කිසිවෙක් නොකී හ; සියල්ල පොදුවේ තබාගත්හ.</verse>
				<verse number="33">ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පුනරුජ්ජීවනය ගැන ප්‍රේරිතයෝ ප්‍රබල ලෙස සාක්ෂි දුන්හ. ඔවුන් සියල්ලන් කෙරෙහි දේව වරප්‍රසාදය බහුල ව පැවැතිණි.</verse>
				<verse number="34">අගහිඟ ඇති කිසිවෙක් ඔවුන් අතර නොවූ හ. මන්ද, වතුපිටි හෝ ගෙවල් හෝ අයිතිකරුවෝ ඒවා විකුණා, එයින් ලත් මුදල් ගෙනැවිත්,</verse>
				<verse number="35">ප්‍රේරිතයන්ගේ පාමුල තැබූ හ. ඒ මුදල් එකිනෙකාගේ වුවමනාවේ හැටියට බෙදා දෙන ලදී.</verse>
				<verse number="36">එකල, ‘අනුශාසනාවේ පුත්‍රයා’ යන අර්ථය ඇති බාර්ණබස් යයි ප්‍රේරිතයන් විසින් නම් කරන ලද ලෙවීවරයෙක් වූ ද සයිප්‍රස් වැසියෙක් වූ ද ජෝසෙප් නම් මනුෂ්‍යයෙක් විය.</verse>
				<verse number="37">ඔහු තමා සතු කෙතක් විකුණා එයින් ලත් මුදල ගෙනවුත් ප්‍රේරිතයන්ගේ පාමුල තැබී ය.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">අනනියස් නම් එක්තරා මිනිසෙක්, සපිරා නම් තම භාර්යාව සමඟ ඉඩමක් විකුණා,</verse>
				<verse number="2">ඇය දැනුවත් ව මුදලෙන් කොටසක් තබාගෙන, ඉතිරි කොටස ගෙනැවිත් ප්‍රේරිතයන්ගේ පාමුල තැබී ය.</verse>
				<verse number="3">එවිට පේදුරු කතා කොට, “අනනියස්, ශුද්ධාත්මයාණන් වහන්සේ රවටා, ඉඩමේ මුදලෙන් කොටසක් තබාගන්නට සාතන් ඔබේ සිත පෙළෙඹෙව්වේ කෙසේ ද?</verse>
				<verse number="4">විකුණන්නට පෙර ඉඩම ඔබට ම අයිති ව තිබුණා නොවේ ද? විකුණූ පසු මුදලත් ඔබගේ ම නොවේ ද? එසේ නම්, මේ ක්‍රියාව කිරීමට ඔබේ සිත පෙළඹුණේ කෙසේ ද? ඔබ රැවටුවේ මිනිසුන් නොව, දෙවියන් වහන්සේ ය”යි කී ය.</verse>
				<verse number="5">අනනියස් ඒ වචන අසා මැරී වැටුණේ ය. ඒ ඇසූ සියල්ලෝ අතිශයින් බියපත් වූ හ.</verse>
				<verse number="6">තරුණයෝ අවුත් මළ මිනිය ඔතා, පිටතට ගෙන ගොස් වැළැලූ හ.</verse>
				<verse number="7">පැය තුනකට පමණ පසු, සිදු වූ දේ නොදැන ඔහුගේ බිරිඳ එතැනට පිවිසියා ය.</verse>
				<verse number="8">පේදුරු ඇය අමතා, “මට කියන්න, ඔබ ඉඩම විකුණා ලැබූ මුදල මෙපමණ දැ”යි ඇසී ය. “එසේ ය, එපමණ ය”යි ඈ පිළිතුරු දුන්නා ය.</verse>
				<verse number="9">එවිට පේදුරු ඇය අමතා, “ස්වාමීන්ගේ ආත්මයාණන් පරීක්ෂා කරන්නට ඔබ දෙපොල එකඟ වූයේ කෙසේ ද? අන්න, ඔබේ පුරුෂයා ගෙන ගොස් වැළැලූ අය දොර ළඟ සිටිති. ඔව්හු ඔබ ද එලෙස ම ගෙන යන්නෝ ය”යි කී ය.</verse>
				<verse number="10">ඈ එකෙණෙහි ම පේදුරුගේ පාමුල මැරී වැටුණා ය. තරුණයෝ ඇතුළු වී, ඇය මැරී සිටිනු දැක, පිටතට ගෙන ගොස් පුරුෂයා ළඟ වැළැලූ හ.</verse>
				<verse number="11">මුළු සභාව ද එය ඇසූ සියල්ලෝ ද අතිශයින් බියපත් වූ හ.</verse>
				<verse number="12">ප්‍රේරිතයන් විසින් ජනයා අතර කරන ලද ලකුණු ද අරුමපුදුම දේ ද බොහෝ විය. ඔව්හු සියලු දෙනා ම එක්සිත් ව සලමොන්ගේ සක්මන් මළුවෙහි රැස් වූ හ.</verse>
				<verse number="13">සෙසු අයගෙන් කිසිවෙක් ඔවුන් හා එක් වන්නට තරම් ධෛර්යවත් නො වූ හ. එසේ වුව ද ජනයා ඔවුන් පැසසූ හ.</verse>
				<verse number="14">සමිඳාණන් වහන්සේ අදහාගත් අයගේ සංබ්‍යාව තව තවත් වැඩි විය. ඒ මහා ජනකාය ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂයෙන් සමන්විත විය.</verse>
				<verse number="15">එබැවින් පේදුරු මඟ යන විට, ඔහුගේ සෙවණැල්ල වත් රෝගීන් මත වැටෙන පිණිස, ඔව්හු ඔවුන් මහ මඟට ගෙනැවිත් යහන්වල ද පැදුරුවල ද තැබූ හ.</verse>
				<verse number="16">ජෙරුසලම අවට නුවරවලින්, රෝගාතුරයන් ද දුෂ්ටාත්මයන්ගෙන් පීඩිත වූවන් ද රැගත් ජනකායක් රැස් වූ හ. ඒ සියල්ලෝ ම සුවය ලැබූ හ.</verse>
				<verse number="17">එවිට උත්තම පූජකයා සහ ඔහු සමඟ එහි සිටි සද්දුසි පක්ෂයේ අය, ඊර්ෂ්‍යාවෙන් පිරී නැඟී සිට,</verse>
				<verse number="18">ප්‍රේරිතයන් අල්ලා පොදු හිරගෙයි දැමූ හ.</verse>
				<verse number="19">එහෙත් රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේගේ දුතයෙක් හිරගෙයි දොරවල් ඇර, ඔවුන් පිටතට ගෙන ගොස්, ඔවුන්ට කතා කොට,</verse>
				<verse number="20">“යන්න, දේව මාලිගාවේ සිට මේ ජීවන මඟ පිළිබඳ සියලු දේ සෙනඟට ප්‍රකාශ කරන්නැ”යි කී ය.</verse>
				<verse number="21">ඔව්හු ඒ අසා අලුයම දේව මාලිගාවට පිවිස ඉගැන්වූ හ. ඒ අතරතුර, උත්තම පූජකයා ද පිරිවර ද පැමිණ, මුළු ඉශ්රායෙල් උත්තර මණ්ඩලය ඇතුළු මන්ත්‍රණ සභාව රැස් කරවා, ප්‍රේරිතයන් ගෙනෙන පිණිස හිරගෙදරට නියෝගයක් යැවූ හ.</verse>
				<verse number="22">එහෙත් මුර සේවකයෝ ගොස්, හිරගෙයි ඔවුන් සිටිනු නොදැක ආපසු පැමිණ මෙසේ සැළ කළහ:</verse>
				<verse number="23">“සිරගෙය ඉතා සුරක්ෂිත ලෙස වසා තිබුණි. මුරකරුවන් දොරටු ළඟ සිටි බව ද දුටිමු; එහෙත් දොර ඇරිය කල ඇතුළේ කිසිවෙක් අපට හමු නො වූ හ.”</verse>
				<verse number="24">දේව මාලිගාවේ සේනාධිපතියා ද නායක පූජකයෝ ද මේ පුවත අසා, කුමකින් කුමක් වේ දැ යි වික්ෂිප්ත වූ හ.</verse>
				<verse number="25">එවිට මිනිසෙක් අවුත්, “අන්න ඔබ හිරගෙයි දැමූ අය දේව මාලිගාවේ සිට ජනයාට උගන්වති”යි සැළ කෙළේ ය.</verse>
				<verse number="26">දේව මාලිගාවේ සේනාධිපතියා සිය මුර සේවකයන් සමඟ පිටත් ව ගොස් ප්‍රේරිතයන් රැගෙන ආවේ ය. එසේ ගෙනෙන විට, සෙනඟ ඔවුන්ට ගල් ගසති යි යන බියෙන් ප්‍රේරිතයන්ට කිසි හිරිහැරයක් නොකළහ.</verse>
				<verse number="27">ඔව්හු ඔවුන් ගෙනවුත් මන්ත්‍රණ සභාව ඉදිරියෙහි සිටෙව්වෝ ය. උත්තම පූජකයා ඔවුන් අමතා,</verse>
				<verse number="28">“මේ මිනිසාගේ නාමයෙන් නූගන්වන ලෙස අපි ඔබට අණ කෙළෙමු. එහෙත් ඔබ, ඔබගේ මේ ධර්මය ජෙරුසලම පුරා පතළ කර, මේ මිනිසාගේ මරණය ගැන අප වගකිව යුත්තන් කරන්නට අදහස් කරන්නහු දැ”යි ඇසූ හ.</verse>
				<verse number="29">එවිට පේදුරු සහ ප්‍රේරිතයෝ පිළිතුරු දෙමින්, “අප මිනිසුන්ට නොව දෙවියන් වහන්සේට කීකරු විය යුතු ය.</verse>
				<verse number="30">අප පියවරුන්ගේ දෙවියන් වහන්සේ, ඔබ විසින් ගසක එල්ලා මරණයට පත් කළ ජේසුස් වහන්සේ උත්ථාන කොට වදාළ සේක.</verse>
				<verse number="31">එම තැනැන් වහන්සේ නායකයාණන් ද ගැළවුම් කාරයාණන් ද වන පිණිස දෙවියන් වහන්සේ සිය දකුණතින් දකුණතට උසස් කර වදාළ සේක. එසේ කෙළේ, ඉශ්රායෙල්ට පසුතැවී සිත් හරවා ගැනීමත් පව් කමාවත් දෙන පිණිස ය.</verse>
				<verse number="32">මේ කරුණුවලට අපි සාක්ෂිකාරයෝ වෙමු. දෙවියන් වහන්සේට කීකරු වන අයට ප්‍රදානය කර ඇති ශුද්ධාත්මයාණන් වහන්සේ ද අප සමඟ, සාක්ෂිකාරයෙක් වන සේකැ”යි කී හ.</verse>
				<verse number="33">ඔව්හු ඒ අසා කෝපයෙන් දිළිහී, ඔවුන් මරන්නට අදහස් කළහ.</verse>
				<verse number="34">එහෙත්, විනයධරයෙකු වූ, සියල්ලන්ගේ ප්‍රශංසාව ලැබූ ගමාලියෙල් නම් එක් පරිසිවරයෙක්, මන්ත්‍රණ සභාවෙහි නැඟිට, ප්‍රේරිතයන් ටික වේලාවකට පිටතට ගෙන යන්නට අණ කොට, මෙසේ කී ය:</verse>
				<verse number="35">“ඉශ්රායෙල් ජනයිනි, ඔබ මේ මිනිසුන්ට කරන්නට යන දේ ගැන පරිස්සම්වන්න.</verse>
				<verse number="36">ටික කලෙකට පෙර තියුදාස්, තමා වැදගත් කෙනෙකැ යි කියමින් ඉදිරිපත් විය. ඔහුට මිනිසුන් හාරසිය දෙනෙක් පමණ එකතු වූ හ. එහෙත්, ඔහු මරනු ලැබී ය. ඔහුගේ අනුගාමිකයෝ සියලු දෙනා විසිර ගොස් නැත්තට ම නැති වූ හ.</verse>
				<verse number="37">ඔහුට පසු, සංගණනය කළ දවස්වල ගලීලයේ ජූදස් ඉදිරිපත් වී ජනයාගෙන් සමහර දෙනෙකු තමා වෙතට දිනාගත්තේ ය. ඔහු ද විනාශ විය. ඔහුගේ අනුගාමිකයෝ ද විසුරුවනු ලැබූ හ.</verse>
				<verse number="38">ඉදින් මේ සිද්ධිය ගැන මා ඔබට කියන්නේ, මේ මිනිසුන්ගෙන් ඈත් වී සිටින්න කියාත්, තමන්ගේ පාඩුවේ ඉන්නට ඔවුන්ට ඉඩ හරින්න කියාත් ය. ඔවුන්ගේ මේ ව්‍යාපාරය හෝ ක්‍රියා මාර්ගය හෝ මිනිසාගෙන් වන දෙයක් නම්, එය කඩාකප්පල් වන්නේ ය.</verse>
				<verse number="39">එහෙත් එය දෙවියන් වහන්සේගෙන් වන දෙයක් නම්, ඔවුන් පරාජය කරන්නට ඔබට නොහැකි ය. එපමණක් නොව, ඔබ අදහස් කරන දේ, දෙවියන් වහන්සේට විරුද්ධ ව සටන් කිරීමක් වීමට ද ඉඩ ඇත.” ඔව්හු මේ අවවාදය පිළිගත්හ.</verse>
				<verse number="40">ඉන්පසු ඔව්හු ප්‍රේරිතයන් තමන් වෙතට ගෙන්වා, කස පහර දී, ජේසුස් වහන්සේගේ නාමයෙන් කතා නොකරන්නට අණ කොට ඔවුන් නිදහස් කර යැවූ හ.</verse>
				<verse number="41">එවිට ප්‍රේරිතයෝ ඒ නාමය උදෙසා නින්දා විඳීමේ භාග්‍යය ගැන ප්‍රීති වෙමින්, මන්ත්‍රණ සභාවෙන් ඉවත් ව ගියහ.</verse>
				<verse number="42">තවද ඔව්හු, දිනපතා ම දේව මාලිගාවේ ද ගෙදරක් ගෙදරක් පාසා ද ඉගැන්වීමෙහිත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ සුබ අස්න දේශනා කිරීමෙහිත් නිරත වූ හ.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">ඒ දවස්වල දී ශ්‍රාවකයන්ගේ ගණන වැඩි වන කල, හෙබ්‍රෙව් බස කතා කරන ජුදෙව්වන්ට විරුද්ධ ව, ග්‍රීක බස කතා කරන ජුදෙව්වරු පැමිණිල්ලක් ඉදිරිපත් කළහ: දිනපතා සහනාධාර දීමේ දී, තමන්ගේ වැන්දඹුවන් නොසලකා හරිනු ලබති යි ඔව්හු කී හ.</verse>
				<verse number="2">එවිට දොළොස් දෙනා ගෝල සමූහය රැස් කරවා, “අප දෙව් දහම දේශනා කිරීම අතපසු කොට සහනාධාර කටයුතුවල යෙදී සිටීම කිසිසේත් සුදුසු නැත.</verse>
				<verse number="3">එබැවින් සහෝදරයෙනි, මේ තනතුරට පත් කරන පිණිස, යහපත් යයි පිළිගත්, එසේ ම ශුද්ධාත්මයෙන් ද ප්‍රඥාවෙන් ද පූර්ණ සත්දෙනෙකු ඔබ අතරෙන් තෝරා ගන්න.</verse>
				<verse number="4">ඉන්පසු අපි යාච්ඤාවෙහි ද ධර්ම දේශනාවෙහි ද නියුක්ත ව සිටිමු”යි කී හ.</verse>
				<verse number="5">මේ යෝජනාව ගැන මුළු මහත් පිරිස සතුටු වූ හ. එවිට ඔව්හු, ඇදහිල්ලෙන් හා ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ මිනිසෙකු වන ස්තේපන් ද ඔහු සමඟ පිලිප් ද ප්‍රොකොරස් ද නිකනොර් ද තීමොන් ද පර්මෙනස් ද ජුදෙව් ආගමට හැරුණු අන්තියෝකියේ නිකොලොස් ද තෝරාගත්හ.</verse>
				<verse number="6">ඔව්හු මේ අය ප්‍රේරිතයන් වෙත ඉදිරිපත් කළහ. ප්‍රේරිතයෝ යාච්ඤා කොට ඔවුන් මත අත් තැබූ හ.</verse>
				<verse number="7">තවද දෙවියන් වහන්සේගේ වචනය පැතිරී ගියේ ය. ජෙරුසලමේ ශ්‍රාවකයන්ගේ ගණන බොහෝ සේ වැඩි විය. පූජකයන්ගෙන් මහත් සමූහයක් ද ඇදහිල්ල පිළිගත්හ.</verse>
				<verse number="8">ස්තේපන්, දේව වරප්‍රසාදයෙන් ද ආනුභාවයෙන් ද පූර්ණ ව මහත් ලකුණු හා අරුමපුදුම දේ ජනතාව අතර සිදු කෙළේ ය.</verse>
				<verse number="9">එහෙත්, ‘ස්වාධීන’ යයි නම් ලත් ධර්මශාලාවට අයත් සිරේනීයයන් සහ අලෙක්සන්ද්‍රියයන්ගෙන් ඇතැමෙක් ද සිලීසියාවේ සහ ආසියාවේ සමහරු ද නැඟිට ස්තේපන් සමඟ විවාද කළහ.</verse>
				<verse number="10">ඔහුගේ කතාවෙහි ගැබ් වූ ප්‍රඥාව හා ශුද්ධාත්ම බලය අභිබවා නැඟී සිටීමට ඔවුන්ට නොහැකි විය.</verse>
				<verse number="11">එවිට, “මේ මිනිසා මෝසෙස්ටත් දෙවියන් වහන්සේටත් අපහාස කරනවා අපි ඇසීමු”යි කියන්නට ඔව්හු මිනිසුන් පෙළඹුවහු ය.</verse>
				<verse number="12">තවද ඔව්හු ජනතාව ද ප්‍රජා මූලිකයන් ද විනයධරයන් ද උසිගන්වා, ඔහු අත්අඩංගුවට ගෙන මන්ත්‍රණ සභාව ඉදිරියට ගෙන ගියහ.</verse>
				<verse number="13">එහි දී ඔව්හු බොරු සාක්ෂිකාරයන් ඉදිරිපත් කර, “මේ මිනිසා ශුද්ධස්ථානයටත් ව්‍යවස්ථාවටත් විරුද්ධ ව නොනවත්වා ම කතා කරයි.</verse>
				<verse number="14">නාසරෙත්හි ජේසුස් වහන්සේ මේ ස්ථානය වනසා දමා, මෝසෙස්ගෙන් අපට උරුම වූ වත්පිළිවෙත් වෙනස් කරන්නේ යයි ඔහු කියනවා ඇසීමු”යි කී හ.</verse>
				<verse number="15">මන්ත්‍රණ සභාවේ හිඳගෙන හුන් හැම දෙනා ම ඔහු දෙස බැලූ හ. ඔහුගේ මුහුණ දේව දුතයෙකුගේ මුහුණ මෙන් ඔවුන්ට දර්ශනය විය.</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">එවිට උත්තම පූජකයා, “මේ ඇත්ත දැ”යි ඇසී ය.</verse>
				<verse number="2">ස්තේපන් මෙසේ පිළිතුරු දුනි: “සහෝදරවරුනි, පියවරුනි, සවන් දෙන්න. අපගේ පිය වූ ආබ්‍රහම් හාරාන්හි පදිංචි වන්නට පෙර මෙසොපොතේමියාවේ සිටි කාලයෙහි, මහිමාන්විත දෙවියන් වහන්සේ ඔහුට පෙනී,</verse>
				<verse number="3">‘ඔබේ රටින් ද ඥාතීන්ගෙන් ද වෙන් වී මා ඔබට පෙන්වන දේශයට එන්නැ’යි වදාළ සේක.</verse>
				<verse number="4">එවිට ඔහු කල්දීයයන්ගේ දේශයෙන් නික්ම ගොස් හාරාන්හි පදිංචි විය. ඔහුගේ පියාගේ ඇවෑමෙන් දෙවියන් වහන්සේ ඔහු එතැනින් ඉවත් කොට ඔබ දැන් වසන මේ දේශයට ගෙනා සේක;</verse>
				<verse number="5">එහි අඩියක් පමණ වත් උරුමයක් ඔහුට නුදුන් සේක. එහෙත්, එවකට ඔහුට දරුවෙකු නොසිටි නමුත්, මේ දේශය ඔහුට ද ඔහුගේ දරු පරම්පරාවට ද උරුම කර දීමට පොරොන්දු වූ සේක.</verse>
				<verse number="6">දෙවියන් වහන්සේ වදාළ දේ නම් මේ ය: ‘ඔහුගේ දරු පරම්පරාව අන්‍ය දේශයක ආගන්තුකයන් ව සිටිනවා ඇත. ඒ දේශවාසීන් ඔවුන් වහල්කමට ගෙන අවුරුදු හාර සියයක් මුළුල්ලේ ඔවුන්ට පීඩා කරනු ඇත.</verse>
				<verse number="7">ඔව්හු යම් ජාතියකට වහල් වෙත් ද, මම ඒ ජාතිය විනිශ්චයට පමුණුවමි; ඉන්පසු ඔව්හු පිටත් ව අවුත් මේ ස්ථානයෙහි මට නමස්කාර කරති.’</verse>
				<verse number="8">තවද, උන් වහන්සේ ගිවිසුමේ ලකුණක් වශයෙන් චර්මඡේදනය ඔහුට දුන් සේක. මෙසේ ආබ්‍රහම්ට දාව ඊසාක් ද උපන්නේ ය. ආබ්‍රහම් අට වන දා ඔහු චර්මඡේදනය කෙළේ ය. ඊසාක්ට දාව ජාකොබ් ද, ජාකොබ්ට දාව කුලපතියෝ දොළොස් දෙනා ද උපන්හ. ඔව්හු සියල්ලෝ චර්මඡේදනය කරනු ලැබූ හ.</verse>
				<verse number="9">“ඒ කුලපතියෝ ජෝසෙප්ට ඊර්ෂ්‍යා කොට ඔහු මිසරයෙහි වහල්කමට විකුණූ හ. එහෙත් දෙවියන් වහන්සේ ඔහු සමඟ සිට,</verse>
				<verse number="10">සියලු දුක්වලින් ඔහු මුදා, මිසරයේ රජ වූ පාරාවෝ ඉදිරියෙහි වරප්‍රසාදයත් ප්‍රඥාවත් ඔහුට දුන් සේක. පාරාවෝ තෙමේ මිසරයට ද තමාගේ මුළු රජ ගෙදරට ද, පාලකයා ලෙස ඔහු පත් කෙළේ ය.</verse>
				<verse number="11">එකල මුළු මිසර දේශයෙහි ද කානාන්හි ද සාගතයක් ඇති වූයෙන් මහත් විපත්තියක් ඇති විය. අපගේ පියවරුන්ට කිසි ආහාරයක් නොමැති විය.</verse>
				<verse number="12">එහෙත් මිසරයෙහි ධාන්‍ය ඇති බව ජාකොබ් අසා, පළමු වරට අපේ පියවරුන් එහි යැවී ය.</verse>
				<verse number="13">දෙ වන වාරයේ දී ජෝසෙප් තම සහෝදරයන්ට හඳුන්වා දෙනු ලැබී ය. පාරාවෝට ද ජෝසෙප්ගේ වංශය හෙළි විය.</verse>
				<verse number="14">එකල ජෝසෙප් තම පිය වූ ජාකොබ් ද හැත්තෑපස්දෙනෙකුගෙන් යුත් ඔහුගේ සියලු ඥාතීන් ද කැඳවා යැවී ය.</verse>
				<verse number="15">ජාකොබ් මිසරයට ගියේ ය. එහි දී ඔහු ද අපගේ පියවරු ද මියගියහ.</verse>
				<verse number="16">ඔව්හු ෂෙකෙම් නුවරට ගෙන යන ලදුව, ෂෙකෙම්හි හේමොර්ගේ පුත්‍රයන්ගෙන් ආබ්‍රහම් රිදී මිල ගණනකට ගත් සොහොන් ගෙය තුළ තැන්පත් කරනු ලැබූ හ.</verse>
				<verse number="17">“දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දුන් පොරොන්දුව ඉටු කිරීමේ කාලය ළංවෙත් ම, අපේ ජනයා මිසරයෙහි වැඩී වර්ධනය වූ හ.</verse>
				<verse number="18">එකල ජෝසෙප් ගැන නොදත් අන් රජෙක් මිසරයේ රජකමට පත් විය.</verse>
				<verse number="19">ඔහු අප ජාතියට විරුද්ධ ව යටිඋගුල් අටවා, අපගේ ළදරුවන් මැරී යන ලෙස පිටතට දමන්නට අපගේ පියවරුන්ට බල කෙළේ ය.</verse>
				<verse number="20">මෝසෙස් උපන්නේ මේ කාලයේ දී ය. ඔහු දෙවියන් වහන්සේට ප්‍රිය වූ සුන්දර දරුවෙක් විය. ඔහු ස්වකීය පියාගේ ගෙදර තුන් මසක් ඇතිදැඩි කරනු ලැබී ය.</verse>
				<verse number="21">ඉන්පසු ඔහු ඉවත දමනු ලැබූ කල පාරාවෝගේ දුව ඔහු රැගෙන, ඇගේ ම පුත්‍රයා මෙන් ඇතිදැඩි කරගත්තා ය.</verse>
				<verse number="22">මෝසෙස් මිසරයන්ගේ සකල සිප්සතරෙහි පුහුණු කරනු ලැබ, කතාවෙහි ද ක්‍රියාවෙහි ද දක්ෂපක්ෂ තැනැත්තෙක් විය.</verse>
				<verse number="23">“මෝසෙස්ට සතළිස් වසක් පමණ වූ විට, ඉශ්රායෙල් පුත්‍රයන් වන තම නෑදෑ පිරිස බලන්නට යාමට ඔහුගේ සිතේ අදහසක් ඇති විය.</verse>
				<verse number="24">ඉශ්රායෙල්වරුන්ගෙන් කෙනෙකුට අයුක්තියක් කරනු දැක, ඔහුට පක්ෂ ව, මිසරයාට පහර දී, පීඩා කරනු ලැබූ තැනැත්තාට යුක්තිය ඉටු කෙළේ ය.</verse>
				<verse number="25">දෙවියන් වහන්සේ ඔහු අතින් ඔහුගේ නෑදෑ පිරිසට විමුක්තිය සලසා දෙන බව ඔවුන් තේරුම්ගෙන ඇතැ යි ඔහු සිතී ය. එහෙත් ඔව්හු එය තේරුම් නොගත්හ.</verse>
				<verse number="26">පසුවදා ඉශ්රායෙල්වරුන් දෙදෙනෙකු දබර කරනු දැක, ඔවුන් සමඟි කිරීමේ අදහසින් ඉදිරිපත් වී, ‘මිත්‍රවරුනි, ඔබ සහෝදරයෝ ය; එකිනෙකාට අයුතුකම් කරන්නේ මන්දැ’යි ඇසී ය.</verse>
				<verse number="27">එහෙත් අසල්වැසියාට අයුතුකම් කරමින් සිටි මිනිසා මෝසෙස් තල්ලු කර දමා, ‘අප කෙරෙහි අධිපතියෙකු ද විනිශ්චයකාරයෙකු ද කර ඔබ පත් කෙළේ කවරෙක් ද?</verse>
				<verse number="28">ඔබ ඊයේ මිසරයා මැරූ ලෙස, මාත් මරන්නට හදනවා දැ’යි කී ය.</verse>
				<verse number="29">ඒ කීම නිසා මෝසෙස් පලා ගොස්, මිදියන් දේශයෙහි ආගන්තුක ව විසී ය. එහි දී ඔහුට පුත්‍රයෝ දෙදෙනෙක් උපන්හ.</verse>
				<verse number="30">“සතළිස් අවුරුද්දක් ගත වූ පසු, සීනයි කඳු පාළුකරයේ පඳුරක ගිනි ජාලාවක් තුළ දේව දුතයෙක් ඔහුට දර්ශනය විය.</verse>
				<verse number="31">මෝසෙස් ඒ දර්ශනය දැක, පුදුම වී, එය සොයා බලන පිණිස ළඟට ගිය කල,</verse>
				<verse number="32">‘ඔබේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ මම ය, ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවියන් වහන්සේ මම වෙමි’යි කියන සමිඳාණන් වහන්සේගේ හඬ ඇසුණේ ය. මෝසෙස් වෙව්ලන්නට වී, වැඩිදුර පරීක්ෂා කරන්නට බිය විය.</verse>
				<verse number="33">සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, ‘නුඹේ පාවහන් ගලවනු; මන්ද, නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියකි.</verse>
				<verse number="34">මිසරයෙහි වසන මාගේ ජනතාව විඳින පීඩා සැබැවින් ම දිටිමි; ඔවුන්ගේ සුසුම්ලෑම ඇසීමි; ඔවුන් ගළවන පිණිස බැස ආවෙමි; එනු, මම දැන් නුඹ මිසරයට යවමි’යි වදාළ සේක.</verse>
				<verse number="35">“අප කෙරෙහි අධිපතියෙකු හා විනිශ්චයකාරයෙකු ලෙස පත් කරන ලද්දේත්, ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේත් මේ මෝසෙස් ය. එහෙත් පඳුරෙහි දර්ශනය වූ දේව දූතයා මඟින් අධිපතියෙකු හා මිදුම්කාරයෙකු ද වන පිණිස දෙවියන් වහන්සේ විසින් යවන ලද්දේත් මොහු ම ය.</verse>
				<verse number="36">මිසරයෙහිදීත්, රතු මුහුදේදීත්, සතළිස් අවුරුද්දක් මුළුල්ලෙහි පාළුකරයේදීත්, හාස්කම් ද අරුමපුදුම දේ ද කර ඔවුන් පිටතට ගෙන ගියේත් මේ මෝසෙස් ම ය.</verse>
				<verse number="37">‘දෙවියන් වහන්සේ මා එවූ ලෙස ම ඔබගේ සහෝදරයන් අතරෙන් ඔබට දිවැසිවරයෙකු එවන සේකැ’යි ඉශ්රායෙල් පුත්‍රයන්ට කීවේත්, මේ මෝසෙස් ම ය.</verse>
				<verse number="38">සීනයි කන්දේ දී තමාට කතා කළ දේව දූතයා සමඟ ද අපේ පියවරුන් සමඟ ද පාළුකරයෙහි වූ සභාවේ ද සිටියේත්, අපට ප්‍රදානය කරන පිණිස ජීවන දහම ලැබුවේත් මොහු ම ය.</verse>
				<verse number="39">“එහෙත් අපේ පියවරු ඔහුට කීකරු වන්නට අකමැති ව ඔහු නෙරපා දමා, ආපසු මිසරයට යන රිසියෙන්,</verse>
				<verse number="40">ආරොන්ට කතා කරමින්, ‘අපට පෙරටුව යන පිණිස දෙවිවරුන් සෑදුව මැනව, මන්ද, මිසර දේශයෙන් අප ගෙන ආ ඒ මෝසෙස්ට කුමක් වී ද කියා නොදනිමු’යි කී හ.</verse>
				<verse number="41">ඔව්හු ඒ දවස්වල දී වස්සෙකු සාදා, ඒ රූපයට පූජාවක් ඔප්පු කර, තමන් අතින් සෑදූ දේ ගැන ප්‍රීති වූ හ.</verse>
				<verse number="42">එවිට දෙවියන් වහන්සේ ඔවුන් වෙතින් හැරී, ග්‍රහ දේවතා නමස්කාරයට ඔවුන් අත්හැරදැමූ සේක. දිවැසිවරයන්ගේ පොතේ ඒ ගැන, ‘ඉශ්රායෙල් වංශය, කාන්තාරයෙහි සතළිස් වසක් තුළ ඔබ මට බිලි හා පූජා ඔප්පු කළහු ද?</verse>
				<verse number="43">නැත, නමස්කාර කරන පිණිස ඔබ විසින් සාදන ලද රූප, එනම්, මොලෙක්ගේ දේවාලය ද රෙපාන් දෙවියාගේ තාරකාව ද ඔබ ඔසවාගෙන ගියහු ය. එබැවින් ඔබ බබිලෝනියෙන් එපිටට නෙරපන්නෙමි’ යනුවෙන් ලියා තිබේ.</verse>
				<verse number="44">“අපේ පියවරුන්ට කාන්තාරයෙහි සාක්ෂි මණ්ඩපය තිබුණේ ය. එය සාදන ලද්දේ, දෙවියන් වහන්සේ විසින් මෝසෙස්ට පෙන්වන ලද සැලැස්ම අනුව, ඔහු සමඟ කතා කළ තැනැන් වහන්සේ නියම කළ ලෙසට ය.</verse>
				<verse number="45">අපගේ පියවරු ජෝෂුවා හා සමඟ, දෙවියන් වහන්සේ ඔවුන් ඉදිරියෙන් පන්නාදැමූ විජාතීන්ගේ දේශය අයිති කරගත් අවස්ථාවේදීත්, ඔවුන් ලබාගත් මේ කූඩාරම ද ගෙන ගොස් දාවිත්ගේ කාලය දක්වා තබාගත්හ.</verse>
				<verse number="46">දාවිත් දෙවියන් වහන්සේ ඉදිරියෙහි ප්‍රසාදය ලබා, ජාකොබ්ගේ දෙවියන් වහන්සේට වාසස්ථානයක් සැපයීමට අවසර ඉල්ලී ය.</verse>
				<verse number="47">එහෙත් උන් වහන්සේට මන්දිරයක් තැනුවේ සලමොන් ය.</verse>
				<verse number="48">“එසේ වුවත් අතින් සෑදූ ස්ථානවල මහෝත්තමයාණන් වහන්සේ වාසය නොකරන සේක. ඒ බව දිවැසිවරයා මෙසේ කියා ඇත:</verse>
				<verse number="49">‘අහස මාගේ සිහසුන ය, පොළොව මාගේ පාපුටුව ය, කෙබඳු ගෘහයක් ඔබ මට ඉදි කරන්නහු ද? නොහොත්, මාගේ විවේක ස්ථානය කිමෙක් ද?</verse>
				<verse number="50">මේ සියල්ල මාගේ අතින් නොසාදන ලද දැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="51">“හිතුවක්කාර, මිසදිටු සිත් හා බිහිරි කන් ඇත්තෙනි, ඔබගේ පියවරුන් මෙන් ඔබත් නිතර ම ශුද්ධාත්මයාණන්ට එරෙහි ව සිටින්නහු ය.</verse>
				<verse number="52">ඔබගේ පියවරුන් පීඩා නොකළ දිවැසිවරයෙක් ඇද් ද? ඔව්හු ධාර්මිකයාණන්ගේ ආගමනය කල්තියා දැන්වූ අය මරාදැමූ හ. දැන් ඔබ ඒ ධාර්මිකයාණන් පාවා දී මරාදමා ඇත.</verse>
				<verse number="53">දේව දූතයන් විසින් දෙන ලද ව්‍යවස්ථා ඔබ ලැබූ නමුත් ඒවා නොපිළිපැද්දහු ය.”</verse>
				<verse number="54">ඔව්හු ඒ අසා, ඔහුට විරුද්ධ ව කෝපයෙන් දිළිහී දත්මිටි කෑහ.</verse>
				<verse number="55">එහෙත් ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණ ව, ස්වර්ගයට බැල්ම හෙළා, දෙවියන් වහන්සේගේ තේජශ්‍රීයත් උන් වහන්සේගේ දකුණු පැත්තේ ජේසුස් වහන්සේ නැඟිට සිටිනවාත් දැක,</verse>
				<verse number="56">“අන්න, ස්වර්ගය විවර වී ඇත, මනුෂ්‍ය-පුත්‍රයාණන් දෙවියන් වහන්සේගේ දකුණු පස නැඟිට සිටිනවා මට පෙනේ ය”යි කී ය.</verse>
				<verse number="57">එහෙත් ඔව්හු මහත් ශබ්දයෙන් මොරහඬගසා, තමන්ගේ කන් වසා ගෙන, එක සිතින් ඔහු පිටට කඩා පැන,</verse>
				<verse number="58">ඔහු නුවරින් පිටතට ඇද ඔහුට ගල් ගැසූ හ. සාක්ෂිකාරයෝ තමන්ගේ ඇඳුම් සාවුල් නම් යෞවනයෙකුගේ පාමුල තැබූ හ.</verse>
				<verse number="59">“ජේසුස් ස්වාමීන් වහන්ස, මාගේ ආත්මය පිළිගත මැනවැ”යි කියා ස්තේපන් යාච්ඤා කරද්දී ඔව්හු ඔහුට ගල් ගැසූ හ.</verse>
				<verse number="60">ඔහු දණින් වැටී, “සමිඳාණන් වහන්ස, මේ පාපය ඔවුන් පිට නොතැබුව මැනවැ”යි මහත් හඬින් මොරගසා කී ය. මෙසේ කියා ඔහු සැතපුණේ ය.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">ඔහු මරාදැමීම ගැන සාවුල් ද සතුට ප්‍රකාශ කෙළේ ය. ඒ දවසේ දී ජෙරුසලමෙහි වූ සභාවට විරුද්ධ ව දරුණු පීඩාවක් හට ගත්තේ ය. එවිට ප්‍රේරිතයන් හැර, සෙසු සියල්ලෝ ජුදයේ සහ සමාරියේ පළාත්වල විසුරුවනු ලැබූ හ.</verse>
				<verse number="2">සැදැහැවත් අය ස්තේපන් භූමදාන කොට, ඔහු ගැන බොහෝ සෙයින් වැලපුණහ.</verse>
				<verse number="3">එහෙත් සාවුල් ගෙදරින් ගෙදරට ගොස්, පුරුෂයන් ද ස්ත්‍රීන් ද අල්ලා හිරභාරයට ගනිමින්, සභාව වනසන්නට දිරි දැරී ය.</verse>
				<verse number="4">විසුරුවනු ලැබූ අය දේශයෙහි සැරිසරමින් දේව වචනය දේශනා කළහ.</verse>
				<verse number="5">පිලිප් සමාරියේ නුවරකට ගොස් එහි ක්‍රිස්තුන් වහන්සේ ගැන දේශනා කෙළේ ය.</verse>
				<verse number="6">පිලිප් කී දේ ඇසූ, ඔහු කළ අරුමපුදුම දේ දුටු, ජන සමූහයෝ ඔහුට එක සිතින් සවන් දුන්හ.</verse>
				<verse number="7">අශුද්ධාත්මයන් වැහී සිටි බොහෝ දෙනෙකුගෙන් ඒ ආත්මයෝ මහ හඬින් මොරගසමින් දුරු වී ගියහ. බොහෝ අංශභාග රෝගීහු ද කොරු ද සුව කරනු ලැබූ හ.</verse>
				<verse number="8">ඒ නුවර මහත් ප්‍රීතියක් ඇති විය.</verse>
				<verse number="9">එකල ඒ නුවර ඊට කලින් අනවින කරමින් සිටි, තමා මහා උත්තමයෙකැ යි පුරසාරම් දෙඩූ, සමාරීය ජනතාව මවිත කළ, සීමොන් නම් එක්තරා මිනිසෙක් සිටියේ ය.</verse>
				<verse number="10">පරාක්‍රමයාණෝ යයි නම් ලත් දෙවියන්ගේ බලය මොහු යයි කියමින්, ලොකු කුඩා හැම දෙනා ම ඔහුට සාවධාන ව සවන් දුන්හ.</verse>
				<verse number="11">ඔවුන් ඔහුට එසේ සවන් දුන්නේ ඔහුගේ අනවිනවලින් කාලයක් තිස්සේ ඔහු ඔවුන් මවිත කළ නිසා ය.</verse>
				<verse number="12">එහෙත් පිලිප් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ද ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමය ද ගැන සුබ අස්න දේශනා කළ විට, ඔව්හු ඔහු විශ්වාස කළහ. ස්ත්‍රීහු ද පුරුෂයෝ ද බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ හ.</verse>
				<verse number="13">එපමණක් නොව සීමොන් ද විශ්වාස කොට, බව්තීස්ම-ස්නාපනය කරනු ලැබ, පිලිප් සමඟ නිරතුරු සිටිමින්, ඔහු කළ අරුමපුදුම දේ ද ප්‍රබල ක්‍රියා ද දැක මවිත විය.</verse>
				<verse number="14">සමාරීයයන් දෙවියන් වහන්සේගේ වචනය පිළිගත් බව ජෙරුසලමේ සිටි ප්‍රේරිතවරයන්ට සැළ වූයෙන් ඔව්හු පේදුරු සහ ජොහන් ඔවුන් වෙතට යැවූ හ.</verse>
				<verse number="15">ඔව්හු එහි ගොස් ඔවුන්ට ශුද්ධාත්මයාණන් ලැබෙන ලෙස යාච්ඤා කළහ.</verse>
				<verse number="16">මන්ද, ඔවුන් ජේසුස් වහන්සේගේ නාමයට බව්තීස්ම-ස්නාපනය කරනු ලැබුවා මිස, ඒ වන තුරුත් ශුද්ධාත්මයාණන් ඔවුන්ගෙන් කිසිවෙකු කෙරෙහි පැමිණ තිබුණේ නැත.</verse>
				<verse number="17">ප්‍රේරිතවරුන් ඔවුන් පිට අත් තැබූ කල, ඔවුන්ට ශුද්ධාත්මයාණන් ලැබිණි.</verse>
				<verse number="18">ප්‍රේරිතවරුන්ගේ අත් තැබීම කරණකොටගෙන ශුද්ධාත්මය ලැබෙන බව දුටු සීමොන් ඔවුන්ට මුදල් දෙමින්,</verse>
				<verse number="19">“යමෙකු පිට මම අත් තබම් ද, ඔහුට ශුද්ධාත්මයාණන් ලැබෙන පිණිස මේ බලය මටත් දෙන්නැ”යි කී ය.</verse>
				<verse number="20">එහෙත් පේදුරු ඔහුට කතා කොට, “දෙවියන් වහන්සේගේ දීමනාව මුදලට ගත හැකි යයි ඔබ සිතූ බැවින්, ඔබේ මුදලත්, ඔබත් නැතිභංග වේ වා.</verse>
				<verse number="21">මේ කාරණයෙහි කොටසක් වත් පංගුකාරකමක් වත් ඔබට නැත. මන්ද, දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඔබේ සිත අවංක නැත.</verse>
				<verse number="22">එහෙයින් ඔබේ සිතේ අදහස ගැන ඔබට කමා කරනු ලබන්නේ දැ යි බලනු පිණිස ඒ දුෂ්ටකම ගැන පසුතැවී සිත හරවා ගෙන, සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්න.</verse>
				<verse number="23">මන්ද, ඔබ තික්තකමේ ගැඹුරට කිමිදී පාප බැමිවලින් වෙළී සිටින බව මට පෙනේ ය”යි කී ය.</verse>
				<verse number="24">සීමොන් පිළිතුරු දෙමින්, “ඔබ කී දෙයින් කිසිවක් මට සිදුනොවන පිණිස, මා උදෙසා සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි කී ය.</verse>
				<verse number="25">ඔවුන් සාක්ෂි දරා සමිඳාණන් වහන්සේගේ පණිවුඩය දේශනා කළ ඉක්බිති ජෙරුසලමට පෙරළා එන අතර සමාරීයයන්ගේ බොහෝ ගම්වල දේව වචනය දේශනා කළෝ ය.</verse>
				<verse number="26">එකල සමිඳාණන් වහන්සේගේ දුතයෙක් පිලිප්ට කතා කොට, “නැඟිට දකුණු දෙස ජෙරුසලමේ සිට ගාසාවට බසින පාරට යන්නැ”යි කී ය. එය කාන්තාර පාරකි.</verse>
				<verse number="27">ඔහු එහි ගියේ ය. එවිට එතියෝපීය රටවැසියන්ගේ කන්දකී නම් බිසව යටතේ බොහෝ බලය ඇත්තා වූ ද ඇගේ මුළු වස්තුවේ අධිකාරී වූ ද එතියෝපීය නපුංසකයෙක් වන්දනාව පිණිස ජෙරුසලමට ගොස්</verse>
				<verse number="28">ආපසු යන විට, තමාගේ රථයෙහි හිඳ, දිවැසිවර යෙසායාගේ පොත කියවමින් සිටියේ ය.</verse>
				<verse number="29">එවිට ආත්මයාණන් වහන්සේ පිලිප්ට කතා කොට, “ඔබ ඉදිරියට ගොස් රථයට ළං ව ගමන් කර එක්වන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="30">පිලිප් ඔහු ළඟට දිවගොස් ඔහු යෙසායා දිවැසිවරයාගේ පොත කියවනු අසා, “ඔබ කියවන දේ ඔබට තේරෙන්නේ දැ”යි ඇසී ය.</verse>
				<verse number="31">“යමෙකු මඟ පෙන්නුවොත් මිස මට තේරුම්ගත හැක්කේ කෙසේ දැ”යි ඔහු පිළිතුරු දී, රථයට නැඟී තමා සමඟ හිඳගන්නට පිලිප්ගෙන් උදක් ම ඉල්ලී ය.</verse>
				<verse number="32">ඔහු කියවමින් සිටි ශුද්ධ ලියවිලි පාඨය මෙසේ ය: “මරණයට ගෙනයනු ලබන බැටළුවෙකු මෙන් ද උගේ ලොම් කපන්නා ඉදිරිපිට ගොළු ව සිටින බැටළු පැටවෙකු මෙන් ද උන් වහන්සේ තමන් මුඛය නාරින සේක.</verse>
				<verse number="33">උන් වහන්සේ නින්දා ලැබූ හ; යුක්තිය නොලැබූ හ. උන් වහන්සේගේ පෙළපත ගැන ප්‍රකාශ කරන්නේ කවරෙක් ද? මන්ද, උන් වහන්සේගේ ජීවිතය මිහි පිටින් පහකරදමන ලදී.”</verse>
				<verse number="34">නපුංසකයා පිලිප්ගෙන් විචාරමින්, “දිවැසිවරයා මෙය කියන්නේ කවරෙකු ගැන ද? තමා ම ගැන ද නැතහොත් අන් කෙනෙකු ගැන දැ යි මට කියන්නැ”යි කී ය.</verse>
				<verse number="35">එවිට පිලිප් පිළිතුරු දෙමින්, එකී ශුද්ධ ලියවිලි පාඨයෙන් පටන්ගෙන ජේසුස් වහන්සේ ගැන ඔහුට දේශනා කෙළේ ය.</verse>
				<verse number="36">ඔව්හු මාර්ගයේ යද්දී, ජලය ඇති තැනකට පැමුණුණාහ. නපුංසකයා “මෙන්න, ජලය ඇත; බව්තීස්ම-ස්නාපනය ලැබීමට ඇති බාධාව කුමක් දැ”යි කී ය.</verse>
				<verse number="37">පිලිප් කතා කොට, ‘ඔබේ මුළු සිතින් අදහන්නෙහි නම් එසේ කළ හැකි ය’යි පැවසී ය. ඔහු උත්තර දෙමින්, “ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් බව මම අදහමි”යි කී ය.</verse>
				<verse number="38">රථය නවත්වන්නට අණ කළ පසු පිලිප් ද නපුංසකයා ද දෙදෙනා ම වතුරට බැස්සෝ ය. පිලිප් ඔහු බව්තීස්ම-ස්නාපනය කෙළේ ය.</verse>
				<verse number="39">ඔවුන් වතුරෙන් ගොඩ ආ කල සමිඳාණන් වහන්සේගේ ආත්මයාණෝ පිලිප් හැරගෙන ගිය සේක. නපුංසකයා තවත් ඔහු නුදුටුවේ ය. ඔහු ප්‍රීතියෙන් තමාගේ ගමන ගියේ ය.</verse>
				<verse number="40">ඉන්පසු පිලිප් දක්නා ලද්දේ අසෝතස්හි දී ය. ඔහු කායිසාරියට පැමිණෙන තෙක් සියලු නුවරවල සැරිසරමින් සුබ අස්න ප්‍රකාශ කෙළේ ය.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">එකල සාවුල් තවදුරටත් ස්වාමීන් වහන්සේගේ ශ්‍රාවකයන් මරාදමන පිණිස ඔවුන්ට විරුද්ධ ව තර්ජනය කරමින් සිටියේ ය. ඔහු උත්තම පූජකයා වෙත ගොස්,</verse>
				<verse number="2">ඒ ඇදහිල්ලට අයත් පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ සම්බ වුණොත්, ඔවුන් අල්ලා ජෙරුසලමට ගෙන එන පිණිස, දමස්කයේ ධර්මශාලාවට ඉදිරිපත් කිරීම සඳහා ඔහුගෙන් බලපත්‍ර ඉල්ලාගත්තේ ය.</verse>
				<verse number="3">මෙසේ ඔහු ගමන් කරමින් දමස්කයට ළං වූ කල, හදිසියෙන් අහසින් ආලෝකයක් ඔහු අවට බැබළිණි.</verse>
				<verse number="4">ඔහු භ්‍රාන්ත වී බිම වැටුණේ ය. එවිට: “සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්දැ”යි කියන හඬක් ඔහුට ඇසිණි.</verse>
				<verse number="5">“ස්වාමීනි, ඔබ කවරෙක් දැ”යි ඔහු ඇසී ය. “මම ඔබ විසින් පීඩා කරනු ලබන ජේසුස් ය.</verse>
				<verse number="6">නැඟිට නුවරට ඇතුළු වන්න, ඔබ කළයුතු දේ ඔබට කියනු ලබන්නේ ය”යි ඒ හඬ පැවසී ය.</verse>
				<verse number="7">ඔහු සමඟ ගමන් කළ මිනිසුන්ට ඒ හඬ ඇසුණ නමුත්, ඔව්හු කිසිවෙකු නොදැක තුෂ්ණීම්භූත ව සිටියෝ ය.</verse>
				<verse number="8">සාවුල් නැඟිට ඇස් ඇරිය කල, ඔහුට කිසිවක් පෙනුණේ නැත. ඔව්හු ඔහු අතින් අල්ලාගෙන දමස්කයට ගෙන ගියහ.</verse>
				<verse number="9">ඔහු තුන් දවසක් ඇස් නොපෙනී, නොකා නොබී සිටියේ ය.</verse>
				<verse number="10">දමස්කයෙහි අනනියස් නම් එක්තරා ශ්‍රාවකයෙක් සිටියේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී, “අනනියස්”, කියා ඔහු ඇමතූ සේක. “ස්වාමීනි, මම මෙහි ය”යි ඔහු කී ය.</verse>
				<verse number="11">සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “නැඟිට, කෙළින් නම් වූ වීදියට ගොස්, තාර්සස්හි වැසියෙකු වූ සාවුල් නම් කෙනෙකු ගැන ජූදස්ගේ ගෙදරින් විමසන්න. ඔහු යාච්ඤා කරමින් සිටියි.</verse>
				<verse number="12">තමාට පෙනීම ලැබෙන පිණිස අනනියස් නම් මිනිසෙකු පැමිණ තමා පිට අත් තබනු ඔහුට දර්ශනය වී ය”යි වදාළ සේක.</verse>
				<verse number="13">එහෙත් අනනියස් උත්තර දෙමින්, “ස්වාමීනි, මේ මනුෂ්‍යයා ජෙරුසලමේ දී ඔබගේ ශුද්ධවරයන්ට කොපමණ හිංසා පීඩා කෙළේ දැ යි බොහෝ දෙනෙකුගෙන් ඇසීමි.</verse>
				<verse number="14">මෙහිදීත් ඔබගේ නාමයට යාච්ඤා කරන සියල්ලන් අත්අඩංගුවට ගන්නට ඔහු නායක පූජකයන්ගෙන් බලය ලැබ සිටී ය”යි කී ය.</verse>
				<verse number="15">එහෙත් සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “යන්න, මන්ද, ඔහු මාගේ නාමය විජාතීන් ද රජුන් ද ඉශ්රායෙල් පුත්‍රයන් ද වෙත ගෙනයාමට මා විසින් තෝරාගත් භාජනයකි.</verse>
				<verse number="16">ඔහු මාගේ නාමය නිසා කොපමණ දුක් විඳින්න ඕනෑ ද කියා ඔහුට දක්වන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="17">අනනියස් පිටත් ව ගොස් ගෙට ඇතුළු වී, ඔහු පිට අත් තබා, “සහෝදර සාවුල්, ඔබට පෙනීම ලැබෙන පිණිස ද ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ කරනු ලබන පිණිස ද සමිඳාණන් වහන්සේ, එනම්, ඔබ ගමන් කළ මාර්ගයේ දී ඔබට දර්ශනය වූ ජේසුස් වහන්සේ, මා එවූ සේකැ”යි කී ය.</verse>
				<verse number="18">එකෙණෙහි ම ඔහුගේ ඇස්වලින් කොරපොතු වැන්නක් වැටී ඔහු පෙනීම ලැබී ය; ඔහු නැඟිට බව්තීස්ම-ස්නාපනය කරනු ලැබ,</verse>
				<verse number="19">කෑම කා යළිත් ශක්තිය ලැබී ය. සාවුල් දමස්කයේ ශ්‍රාවකයන් සමඟ කීප දවසක් නතර ව සිටියේ ය.</verse>
				<verse number="20">ඔහු නොපමා ව ජේසුස් වහන්සේ ගැන ධර්මශාලාවල දී දේශනා කරමින්, “උන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය”යි ප්‍රකාශ කෙළේ ය.</verse>
				<verse number="21">ඒ ඇසූ සියල්ලෝ අතිශයින් මවිත ව, “මෙම නාමයෙන් යාච්ඤා කරන්නන් ජෙරුසලමේ දී වනසා දැමූ තැනැත්තා මොහු නොවේ ද? මොහු මෙහි ආයේත් ඔවුන් අත්අඩංගුවට ගෙන නායක පූජකයන් ඉදිරියට ගෙන යන අදහසින් නොවේ දැ”යි කී හ.</verse>
				<verse number="22">එහෙත් සාවුල් වඩ වඩා බලසම්පන්න ව, ඒ ජේසුස් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ ම යයි ඔප්පු කරමින්, දමස්කයෙහි විසූ ජුදෙව්වරුන් නිරුත්තර කෙළේ ය.</verse>
				<verse number="23">කලක් ගත වූ පසු, ජුදෙව්වරු ඔහු මරන්නට කුමන්ත්‍රණ කළහ.</verse>
				<verse number="24">එහෙත් ඔවුන්ගේ උපාය සාවුල්ට දැනගන්නට ලැබිණි. ඔහු මරණ පිණිස ඔව්හු රෑ දාවල් දෙක්හි දොරටුවල රැකබලා සිටියහ.</verse>
				<verse number="25">එහෙත් ඔහුගේ ශ්‍රාවකයෝ රාත්‍රියේ ඔහු ගෙන ගොස්, කූඩයක බහා, පවුරෙහි විවරයකින් පහළට බැස්වූ හ.</verse>
				<verse number="26">ඉන්පසු සාවුල් ජෙරුසලමට පැමිණිවිට, ශ්‍රාවකයන් සමඟ එක්වන්නට උත්සාහ කෙළේ ය. එහෙත් ඔහු ශ්‍රාවකයෙකැ යි විශ්වාස නොකොට සියල්ලෝ ඔහුට බිය වූ හ.</verse>
				<verse number="27">එවිට බාර්ණබස් ඔහු කැටුව ප්‍රේරිතයන් ළඟට කැඳවා ගෙන ගොස්, මාර්ගයේ දී ඔහු සමිඳාණන් වහන්සේ දුටු සැටිත්, උන් වහන්සේ ඔහුට කතා කළ බවත්, දමස්කයේ දී ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔහු නිර්භීත ලෙස දේශනා කළ සැටිත්, ඔවුන්ට විස්තර කෙළේ ය.</verse>
				<verse number="28">සාවුල් ද ඔවුන් සමඟ ජෙරුසලමෙහි සැරිසරමින්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් නිර්භීත ව කතා කෙළේ ය.</verse>
				<verse number="29">ඔහු ග්‍රීක බස කතා කළ ජුදෙව්වරුන් සමඟ සාකච්ඡාවෙහි ද වාද කිරීමෙහි ද යෙදීම නිසා ඔව්හු ඔහු මරන්නට අධිෂ්ඨාන කර ගත්හ.</verse>
				<verse number="30">සහෝදරයෝ ඒ බව දැන, ඔහු කායිසාරියට ගෙන ගොස් එතැනින් තාර්සස්ට පිටත් කර යැවූ හ.</verse>
				<verse number="31">මෙසේ මුළු ජුදයෙහි ද ගලීලයෙහි ද සමාරියෙහි ද සභාවට සාමයේ කාලයක් ඇති විය. සභාව ශක්තිසම්පන්න ව, දේව ගෞරවයෙහි ද ශුද්ධාත්ම වරප්‍රසාදයෙහි ද පවතිමින් වැඩි වර්ධනය වූවා ය.</verse>
				<verse number="32">තවද පේදුරු සියලු පළාත්වල සැරිසරා, ලිද්දායෙහි විසූ සැදැහැවතුන් වෙතට පැමිණියේ ය.</verse>
				<verse number="33">එහි අට අවුරුද්දක් අංශභාග රෝගයෙන් ඔත්පළ ව හුන් අයිනෙයස් නම් මනුෂ්‍යයෙක් ඔහුට හමු විය.</verse>
				<verse number="34">පේදුරු ඔහුට කතා කොට, “අයිනෙයස්, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඔබට සුවය දෙන සේක. නැඟිට ඔබේ යහන සකස් කරගන්නැ”යි කී ය. එකෙණෙහි ම ඔහු නැඟිට්ටේ ය.</verse>
				<verse number="35">ලිද්දායෙහි ද ශාරොනෙහි ද විසූ සියල්ලෝ ඔහු දැක, සමිඳාණන් වහන්සේ සරණ ගියහ.</verse>
				<verse number="36">දොර්කස්, හෙවත් මුවදෙන යන අර්ථය ඇති, තබිතා නම් එක්තරා සැදැහැවත් කාන්තාවක් ජොප්පාවෙහි සිටියා ය. ඈ යහපත කිරීමේ දී හෝ දන්දීමෙහි දී හෝ කිසි විටෙක වෙහෙසට පත් නොවූවා ය.</verse>
				<verse number="37">එහෙත් ඒ දවස්වල ඈ රෝගී ව මළා ය. ඔව්හු මිනිය නාවා, උඩුමහලක තැබූ හ.</verse>
				<verse number="38">ලිද්දාව ජොප්පාවට සමීප බැවින්, පේදුරු එහි සිටින බව ඇසූ ශ්‍රාවකයෝ “පමා නොවී අප වෙත එන්නැ”යි අයැදිමින් මිනිසුන් දෙදෙනෙකු ඔහු වෙත යැවූ හ.</verse>
				<verse number="39">එවිට පේදුරු පිටත් ව ඔවුන් සමඟ ගියේ ය. ඔහු පැමිණි කල, ඔව්හු උඩුමහලට ඔහු කැඳවාගෙන ගියහ. සියලු වැන්දඹුවෝ ඔහු වටා සිට හඬ හඬා, දොර්කස් ජීවත් ව සිටිය දී මැහූ කමිසත් කබාත් පෙන්වූ හ.</verse>
				<verse number="40">පේදුරු ඔවුන් සියල්ලන් බැහැර කර, දණින් වැටී යාච්ඤා කර, මෘත දේහය දෙසට හැරී, “තබිතා, නැඟිටින්නැ”යි කී ය. එවිට ඈ ඇස් ඇර, පේදුරු දැක, හිඳගත්තා ය.</verse>
				<verse number="41">ඔහු ඈ අතින් අල්ලා නැඟිටුවා, සැදැහැවතුන් ද වැන්දඹුවන් ද කැඳවා, පණපිටින් සිටි ඇය ඔවුන්ට භාර දුන්නේ ය.</verse>
				<verse number="42">ජොප්පාව පුරා මේ පුවත පතළ විය. බොහෝ දෙනෙක් සමිඳාණන් වහන්සේ අදහා ගත්හ.</verse>
				<verse number="43">පේදුරු, සීමොන් නම් සම් පදම් කරන්නෙකු සමඟ කීප දවසක් ජොප්පාවෙහි නැවතී සිටියේ ය.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">ඉතාලි යයි නම් ලත් භට හමුදාවේ ශතාධිපතියෙකු වූ කොර්නේලියස් නම් එක්තරා මිනිසෙක් කායිසාරියේ සිටියේ ය.</verse>
				<verse number="2">ඔහු බැතිමතෙකි. සිය ගෙදර වැසියන් සමඟ දේව නමස්කාරයෙහි යෙදුන කෙනෙකි. සෙනඟට බොහෝ සේ දන් දෙමින් නොකඩ ව දෙවියන් වහන්සේට යාච්ඤා කිරීමෙහි නිරත වූවෙකි.</verse>
				<verse number="3">දිනක් සවස තුනට පමණ දෙවියන් වහන්සේගේ දුතයෙක් ඔහුගේ නිවසට පැමිණ, “කොර්නේලියස්” කියා තමාට ආමන්ත්‍රණය කරනු ඔහු දර්ශනයකින් පැහැදිලි ලෙස දැක,</verse>
				<verse number="4">දූතයා දෙස නෙත් යොමා බලා, බියපත් වී, “ස්වාමීනි, කිමෙක් දැ”යි ඇසී ය. දූතයා කතා කොට, “ඔබේ යාච්ඤා ද දාන ද සිහිවටන වශයෙන් දෙවියන් වහන්සේ ඉදිරියට නැඟී ඇත.</verse>
				<verse number="5">ඉදින් ජොප්පාවට මිනිසුන් යවා, පේදුරු නම් සීමොන් කැඳවාගන්න.</verse>
				<verse number="6">ඔහු මුහුද අද්දර සීමොන් නම් සම් පදම් කරන්නෙකුගේ ගෙදර නවාතැන්ගෙන සිටී ය”යි කී ය.</verse>
				<verse number="7">මෙසේ කතා කළ දේව දූතයා ගිය කල, කොර්නේලියස් තමාගේ ගෙදර මෙහෙකරුවන්ගෙන් දෙදෙනෙකු ද තමාගේ පෞද්ගලික ආවතේව කරන්නන්ගෙන් පක්ෂපාත හේවායෙකු ද කැඳවා,</verse>
				<verse number="8">ඔවුනට සියල්ල කියා දී, ඔවුන් ජොප්පාවට යැවී ය.</verse>
				<verse number="9">පසු දින ඔවුන් ගමන් කොට ඒ නුවරට ළං වෙත් ම, පේදුරු මද්දහන වේලාව පමණේ දී යාච්ඤා කරන පිණිස වහල්තලයට නැඟුණේ ය.</verse>
				<verse number="10">එවිට බඩගිනි ව, කෑම කන්නට ඔහුට ඕනෑ විය. එහෙත් ඔවුන් කෑම පිළියෙළ කරද්දී ඔහුට දිව්‍ය දර්ශනයක් ලැබුණි.</verse>
				<verse number="11">එවිට අහස විවර ව, මහත් රුවලක් වැනි යම් දෙයක් එහි සතර කොණින් බැඳ පොළොවට බස්වනු ඔහු දිටී ය.</verse>
				<verse number="12">පොළොවේ සියලු ආකාර සිවුපාවෝ ද උරග ජාතීහු ද ආකාශ පක්ෂීහු ද එහි සිටියෝ ය.</verse>
				<verse number="13">“පේදුරු නැඟිට මරා කන්න” යන හඬක් ඔහුට ඇසිණි.</verse>
				<verse number="14">එහෙත් පේදුරු, “ස්වාමීනි, එසේ නොවේ වා; මන්ද, අකැප, අපවිත්‍ර දෙයක් කිසි කලෙකත් මම නොකෑවෙමි”යි කී ය.</verse>
				<verse number="15">“දෙවියන් වහන්සේ පවිත්‍ර කළ දේ, අකැප යයි නොකියන්නැ”යි දෙ වන වරටත් කියන හඬක් ඇසිණි.</verse>
				<verse number="16">මෙය තුන් වරක් ම සිදු විය. එකෙණෙහි ම ඒ දේ අහසට ඔසවාගනු ලැබී ය.</verse>
				<verse number="17">තවද, තමා දුටු දර්ශනය කුමක් දැ යි සිත සිතා, පේදුරු වියවුල් ව සිටිය දී, කොර්නේලියස් විසින් එවන ලද මනුෂ්‍යයෝ සීමොන්ගේ ගෙදර කොහේ දැ යි විමසමින් අවුත් එහි දොරටුව ළඟ සිට,</verse>
				<verse number="18">“පේදුරු නම් ලත් සීමොන් මෙහි නැවතී සිටී දැ”යි හඬ නඟා ඇසූ හ.</verse>
				<verse number="19">පේදුරු තමා දුටු දර්ශනය ගැන කල්පනා කරමින් සිටිය දී, ආත්මයාණන් වහන්සේ ඔහු අමතමින්, “අන්න, මිනිස්සු තුන් දෙනෙක් ඔබ සොයති.</verse>
				<verse number="20">එබැවින් නැඟිට, බැස ගොස් කිසි සැකයක් නැති ව, ඔවුන් සමඟ යන්න. ඔවුන් එවූයේ මම ය”යි වදාළ සේක.</verse>
				<verse number="21">එවිට පේදුරු ඒ මනුෂ්‍යයන් වෙතට බැස ගොස්: “ඔබ සොයන තැනැත්තා මම ය, ඔබ ආ කාරණය කිමෙක් දැ”යි ඇසී ය.</verse>
				<verse number="22">ඔව්හු කතා කොට: “දැහැමි, දේව භය ඇති, මුළු ජුදෙව් ජාතිය ම ගරු කරන ශතාධිපතියෙකු වූ, කොර්නේලියස් තෙමේ තමාගේ ගෙදරට ඔබ කැඳවා ඔබෙන් ඔවදන් අසන පිණිස, දෙවියන් වහන්සේ විසින් ශුද්ධ වූ දේව දුතයෙකු ලවා අණ දෙනු ලැබී ය”යි කී හ.</verse>
				<verse number="23">එවිට පේදුරු ඔවුන් ඇතුළට කැඳවා නවාතැන් දුන්නේ ය. පසුවදා ඔහු ඔවුන් සමඟ පිටත් ව ගියේ ය. ජොප්පාවේ සහෝදරයන්ගෙන් සමහරෙක් ද ඔහු කැටුව ගියහ.</verse>
				<verse number="24">ඊට පසුදා ඔව්හු කායිසාරියට පැමිණියහ. කොර්නේලියස් තමාගේ නෑයන් ද හිතමිතුරන් ද කැඳවාගෙන ඔවුන් එන තුරු බලා සිටියේ ය.</verse>
				<verse number="25">පේදුරු ගෙට පිවිසුණු විට, කොර්නේලියස් ඔහු ඉදිරියට ගොස් ඔහුගේ පාමුල වැඳ වැටුණේ ය.</verse>
				<verse number="26">එහෙත් පේදුරු, “නැඟිටින්න, මමත් මනුෂ්‍යයෙකැ”යි කියා ඔහු එසෙව්වේ ය.</verse>
				<verse number="27">පේදුරු ඔහු සමඟ කතා කරමින්, ගේ ඇතුළට ගොස්, බොහෝ දෙනෙකු රැස් ව සිටිනු දැක,</verse>
				<verse number="28">ඔවුන් අමතා, “ජුදෙව් මිනිසෙකුට විජාතිකයෙකු හා සමඟ සමාගම් පැවැත්වීමත් ඔහු බලන්නට යාමත් තහනම් බව ඔබ දන්නහු ය. එහෙත් කවර මිනිසෙක් වුව ද පිළිකුල් ය නොහොත් අපවිත්‍ර යයි නොකිය යුතු බව දෙවියන් වහන්සේ මට පෙන්වා දුන් සේක.</verse>
				<verse number="29">එබැවින් ඔබ මා කැඳවා යැවූ කල මම කිසි සැකයක් නැති ව ආවෙමි. ඔබ මා කැඳෙව්වේ මන්දැ”යි ඇසී ය.</verse>
				<verse number="30">එවිට කොර්නේලියස්, “සිව්දිනකට පෙර මෙවැනි වේලාවක දී, සවස තුනට, මම ගෙදර යාච්ඤා කරමින් සිටියෙමි. එවිට දිළිසෙන වස්ත්‍ර හැඳගත් මිනිසෙක් මා ඉදිරියෙහි සිට,</verse>
				<verse number="31">‘කොර්නේලියස්, ඔබේ යාච්ඤා අසන ලද්දේ ය, ඔබේ පුණ්‍ය ක්‍රියා දෙවියන් වහන්සේ ඉදිරියෙහි සිහි කරන ලද්දේ ය;</verse>
				<verse number="32">එබැවින් ජොප්පාවට මිනිසුන් යවා, පේදුරු නම් ලත් සීමොන් මෙතැනට කැඳවාගන්න; ඔහු මුහුද ළඟ සම් පදම්කරු සීමොන්ගේ ගෙයි නවාතැන් ගෙන සිටී ය’යි කී ය.</verse>
				<verse number="33">එහෙයින් එකෙණෙහි ම මම ඔබ කැඳවා යැවීමි; ඔබේ පැමිණීම ඉතා හොඳ ය. දැන් සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ සියල්ල අසන පිණිස අපි සියල්ලෝ මෙහි දෙවියන් වහන්සේ ඉදිරියෙහි සිටිමු”යි කී ය.</verse>
				<verse number="34">එවිට පේදුරු මෙසේ කී ය: “දෙවියන් වහන්සේ මිනිසුන්ගේ තරාතිරම් නොබලන බව දැන් මට සැබැවින් ම පැහැදිලි ය.</verse>
				<verse number="35">සියලු ජාතීන් අතර උන් වහන්සේ කෙරෙහි බිය ඇති, හරි දේ කරන තැනැත්තා උන් වහන්සේට ප්‍රියමනාප ය.</verse>
				<verse number="36">උන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන සාමයේ සුබ අස්න ප්‍රකාශ කරමින් ඉශ්රායෙල් පුත්‍රයනට දහම් පණිවුඩය දුන් සේක. ඒ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සියල්ලන්ගේ සමිඳාණෝ ය.</verse>
				<verse number="37">ජොහන් ප්‍රකාශ කළ බව්තීස්ම-ස්නාපනයට පසු ගලීලය පටන් ජුදය මුළුල්ලෙහි සිදු වූ දේ ඔබ දන්නහු ය;</verse>
				<verse number="38">දෙවියන් වහන්සේ ශුද්ධාත්මයෙන් ද බලයෙන් ද නාසරෙත්හි ජේසුස් වහන්සේ ආලේප කළ සැටිත්, දෙවියන් වහන්සේ උන් වහන්සේ සමඟ සිටි බැවින්, උන් වහන්සේ යහපත් ක්‍රියා කරමින් ද යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලන් සුව කරමින් ද හැසුරුණ සැටිත් ඔබ දන්නහු ය.</verse>
				<verse number="39">උන් වහන්සේ ජුදෙව්වරුන්ගේ රටෙහි ද ජෙරුසලමෙහි ද කළ සියල්ලට අපි සාක්ෂිකරුවෝ වම්හ. ඔව්හු උන් වහන්සේ ගසක එල්ලා මැරූ හ.</verse>
				<verse number="40">එහෙත් දෙවියන් වහන්සේ තුන් වන දා උන් වහන්සේ උත්ථාන කොට දර්ශනය වන්නට සැලැස්සූ සේක.</verse>
				<verse number="41">උන් වහන්සේ සියල්ලනට ම පෙනුණේ නැත. පෙනුණේ, දෙවියන් වහන්සේ විසින් කලින් තෝරාගන්නා ලද සාක්ෂිකරුවන් වන, උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ පසු උන් වහන්සේ සමඟ එකට කෑවා වූ, බීවා වූ, අපට ම ය.</verse>
				<verse number="42">ජීවත් වන්නවුන්ගේ ද මළවුන්ගේ ද විනිශ්චයකාරයාණන් වන පිණිස දෙවියන් වහන්සේ විසින් නියම කරන ලද තැනැත්තාණන්, උන් වහන්සේ බව සෙනඟට ප්‍රකාශ කරන්නටත්, සාක්ෂි දෙන්නටත්, උන් වහන්සේ අපට අණ කළ සේක.</verse>
				<verse number="43">උන් වහන්සේ අදහන සියල්ලනට උන් වහන්සේගේ නාමයේ අනුහසින් පව් කමාව ලැබෙන බවට සියලු දිවැසිවරයෝ සාක්ෂි දෙති”යි කී ය.</verse>
				<verse number="44">පේදුරු මේ වචන කතා කරද්දී ම එය ඇසූ සියල්ලන් කෙරෙහි ශුද්ධාත්මයාණන් වහන්සේ පහළ වූ සේක.</verse>
				<verse number="45">පේදුරු සමඟ පැමිණි, චර්මඡේදනය ලත් සැදැහැවත්හු විජාතීන් කෙරෙහි ශුද්ධාත්ම දීමනාව පහළ වූ බැවින් මවිත වූ හ.</verse>
				<verse number="46">ඔවුන් අන්‍ය භාෂාවලින් කතා කරන සැටිත්, දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරන සැටිත්, ඔවුනට ඇසිණි.</verse>
				<verse number="47">එවිට පේදුරු උත්තර දෙමින්, “අප ලැබුවාක් මෙන් ශුද්ධාත්මයාණන් වහන්සේ ලැබූ ඔවුන් වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කිරීම වැළැක්විය හැක්කේ කවරෙකුට දැ”යි කී ය.</verse>
				<verse number="48">ඔහු ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ඔවුන් බව්තීස්ම-ස්නාපනය කරන්නට අණ කෙළේ ය. එවිට ඔව්හු, කීප දවසක් තමන් සමඟ නැවතී සිටින ලෙස ඔහුගෙන් ඉල්ලූ හ.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">විජාතීන් විසින් ද දේව වචනය පිළිගනු ලැබූ බව ජුදයෙහි සිටි ප්‍රේරිතයනටත් සහෝදරයනටත් ආරංචි විය.</verse>
				<verse number="2">පේදුරු ජෙරුසලමට ආ කල චර්මඡේදිතයෝ ඔහුට දොස් පවරමින්,</verse>
				<verse number="3">“ඔබ අචර්මඡේදිත මිනිසුන් වෙතට ගොස් ඔවුන් සමඟ කෑම කෑවේ මන් දැ”යි ඇසූ හ.</verse>
				<verse number="4">එවිට පේදුරු ඒ කාරණය මුල පටන් පිළිවෙළින් පහදා දෙන්නට පටන්ගෙන මෙසේ කී ය:</verse>
				<verse number="5">“මම ජොප්පා නුවර යාච්ඤා කරමින් සිටි විට අහසෙන් බස්වන ලද සතර කොණින් බැඳුණු මහත් රුවලක් වැනි දෙයක් පහත් වෙනවා දර්ශනයකින් දිටිමි. එය මා ළඟට ම පැමිණියේ ය.</verse>
				<verse number="6">මා එය සෝදිසියෙන් බැලූ විට, පොළොවේ සිවුපාවුන් ද වන මෘගයන් ද උරග ජාතීන් ද ආකාශ පක්ෂීන් ද දිටිමි.</verse>
				<verse number="7">එවිට, ‘පේදුරු නැඟිට, මරා, කන්නැ’යි මට කියන ශබ්දයකුත් ඇසීමි.</verse>
				<verse number="8">මම ද, ‘ස්වාමීනි, එය නම් කළ නොහැක; අකැප, අපවිත්‍ර දෙයක් කිසි කලෙකත් මා කටට ගෙන නැතැ’යි කීවෙමි.</verse>
				<verse number="9">එහෙත් දෙ වන වරටත් අහසෙන් හඬක් මට කතා කරමින්, ‘දෙවියන් වහන්සේ පවිත්‍ර කළ දේ, පිළිකුල් යයි නොකියන්නැ’යි කී ය.</verse>
				<verse number="10">තුන් වරක් ම මෙය සිදු විය. ඉන්පසු නැවත සියල්ල අහසට ඇද ගන්නා ලද්දේ ය.</verse>
				<verse number="11">“එවේලෙහි ම කායිසාරියෙන් මා වෙත එවන ලද මිනිස්සු තුන් දෙනෙක් මා විසූ නිවෙස ඉදිරියෙහි සිටියහ.</verse>
				<verse number="12">ආත්මයාණන් වහන්සේ ද, සැකයක් නැති ව ඔවුන් සමඟ යන ලෙස මට අණ කළ සේක. මේ සහෝදරයන් සදෙනාත් මා සමඟ ගියහ. අපි කොර්නේලියස්ගේ ගෙදරට ඇතුළු වීමු.</verse>
				<verse number="13">එවිට ඔහු, තමාගේ ගෙයි දේව දූතයා සිටිනු දුටු හැටිත්, ‘ජොප්පාවට මිනිසුන් යවා පේදුරු නම් ලත් සීමොන් කැඳවන්න;</verse>
				<verse number="14">ඔහු වනාහි ඔබ සහ ඔබේ ගෙදර සියල්ලන්ගේ ද, ගැළවීම සලසා දෙන දහම ඔබට දෙසන්නේ ය’යි තමාට කී හැටිත් අපට දැන්වී ය.</verse>
				<verse number="15">මා කතා කරන්නට පටන්ගත් කල, ශුද්ධාත්මයාණන් වහන්සේ මුල දී අප කෙරෙහි පහළ වූ සේ ම ඔවුන් කෙරෙහිත් පහළ වූ සේක.</verse>
				<verse number="16">“එකල, ‘ජොහන් බව්තීස්ම-ස්නාපනය කෙළේ වතුරෙන් ය. ඔබ බව්තීස්ම-ස්නාපනය ලබන්නේ ශුද්ධාත්මයෙන් ය’යි සමිඳාණන් වහන්සේ වදාළ වචනය මට මතක් විය.</verse>
				<verse number="17">එබැවින් ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අදහාගත් කල්හි අපට දෙනු ලැබුවාක් මෙන් දෙවියන් වහන්සේ ඔවුන්ටත් එම දීමනාව ම දුන් සේක් නම්, දෙවියන් වහන්සේට බාධා කිරීමට මම කවරෙක් දැ”යි කී ය.</verse>
				<verse number="18">ඔව්හු ඒ අසා නිහඬ වූ හ. “එසේ නම් විජාතීන්ටත් දෙවියන් වහන්සේ ජීවනය සලසන පසුතැවී සිත් හරවා ගැනීමක් දුන් සේකැ”යි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ.</verse>
				<verse number="19">ස්තේපන් නිසා හටගත් පීඩාව කරණකොටගෙන විසුරුවනු ලැබූ අය, ජුදෙව්වරුන්ට මිස අන් කිසිවෙකුට දහම ප්‍රකාශ නොකොට, පිනීසිය ද සයිප්‍රසය ද අන්තියෝකිය ද දක්වා ගමන් කළහ.</verse>
				<verse number="20">එහෙත් ඔවුන් අතරෙන් සයිප්‍රසයේ ද සිරේනියේ ද වැසියන් වූ සමහරෙක් අන්තියෝකියට පැමිණ, ග්‍රීකයනටත් කතා කරමින්, ජේසුස් ස්වාමීන් වහන්සේ පිළිබඳ සුබ අස්න ප්‍රකාශ කළහ.</verse>
				<verse number="21">සමිඳාණන් වහන්සේගේ බලය ඔවුන් මත පහළ විය. එකල විශාල සංබ්‍යාවක් අදහාගෙන සමිඳාණන් වහන්සේ වෙතට හැරුණාහ.</verse>
				<verse number="22">ඔවුන් පිළිබඳ පුවත ජෙරුසලමේ සභාවට සැළ විය. එවිට ඔව්හු බාර්ණබස් අන්තියෝකියට යැවූ හ.</verse>
				<verse number="23">ඔහු පැමිණ දේව වරප්‍රසාදය දැක, සන්තෝෂ වී, සමිඳාණන් වහන්සේට පක්ෂපාත ව, ස්ථීර ව, පවතින සේ සියල්ලනට අනුශාසනා කෙළේ ය.</verse>
				<verse number="24">බාර්ණබස්, වනාහි යහපත් වූ ද ශුද්ධාත්මයාණන්ගෙන් හා ඇදහිල්ලෙන් පූර්ණ වූ ද මිනිසෙකි. මෙසේ මහත් සමූහයක් සමිඳාණන් වහන්සේ සරණ ගියහ.</verse>
				<verse number="25">බාර්ණබස් සාවුල් සොයමින් තාර්සසයට ගොස්,</verse>
				<verse number="26">ඔහු හමු වී, අන්තියෝකියට කැඳවාගෙන ආවේ ය. ඔව්හු අවුරුද්දක් මුළුල්ලෙහි ම සභාව හා එක්රැස් ව, මහත් සමූහයකට ඉගැන්වූ හ. ‘ක්‍රිස්තියානි’ යන නාමය ශ්‍රාවකයනට පළමුකොට දෙනු ලැබූයේ අන්තියෝකියේ දී ය.</verse>
				<verse number="27">ඒ දවස්වල දී ජෙරුසලමෙන් දිවැසිවරු අන්තියෝකියට පැමිණියාහ.</verse>
				<verse number="28">ඔවුන්ගෙන් අගබස් නම් කෙනෙක් නැඟිට, ‘ලොව පුරා මහත් සාගතයක් ඇති වන්නේ ය’යි ආත්මයාණන් කරණකොටගෙන ප්‍රකාශයක් කෙළේ ය. ඒ සාගතය ක්ලෞදියස් රජු දවස සිදු විය.</verse>
				<verse number="29">එවිට ශ්‍රාවකයෝ එකිනෙකා තම තමාගේ වත්කමේ හැටියට ජුදයෙහි සිටි සහෝදරයනට ආධාර යවන්නට තීරණය කරගත්හ.</verse>
				<verse number="30">ඔව්හු ආධාර එකතු කර, බාර්ණබස් සහ සාවුල් අත සභා මූලිකයන්ට යැවූ හ.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">ඒ කාලයේ දී හෙරොද් රජ, සභාවේ සමහරුනට පීඩා කරන්නට පටන්ගත්තේ ය.</verse>
				<verse number="2">ඔහු ජොහන්ගේ සහෝදර වූ ජාකොබ් කඩුවෙන් මැරී ය.</verse>
				<verse number="3">ඊට ජුදෙව්වරුන් ප්‍රසන්න වූ බව දැක, ඔහු පේදුරු ද අල්ලාගැනීමට ප්‍රයත්න දැරී ය. ඒ වනාහි නුමුහුන් රොටි වළඳන දවස් ය.</verse>
				<verse number="4">ඔහු පේදුරු අල්ලා හිරගෙයි දමා, පාස්කු මංගල්‍යයෙන් පසු සෙනඟ ඉදිරියට ගෙනෙන්නට සිතා, හේවායින් සතර දෙනා බැගින් ඇති කණ්ඩායම් සතරකට ඔහු රැකවල් කරන්නට භාර දුන්නේ ය.</verse>
				<verse number="5">එබැවින් පේදුරු හිර අඩස්සියේ සිටිය දී සභාව ඔහු උදෙසා දෙවියන් වහන්සේට උදක් ම යාච්ඤා කළා ය.</verse>
				<verse number="6">පේදුරු නඩු ශාලාවට පමුණුවන්නට හෙරොද් අදහස් කරගෙන සිටි දිනට පෙර දින රාත්‍රියේ දී පේදුරු දම්වැල් දෙකකින් බඳින ලදුව හේවායන් දෙදෙනකු මැද නිඳා සිටියේ ය. මුර භටයෝ දොර ඉදිරියේ හිරගෙය රැකවල් කළහ.</verse>
				<verse number="7">එකෙණෙහි ම සමිඳාණන් වහන්සේගේ දුතයෙක් එහි පහළ විය. ආලෝකයක් හිර ගෙයි බැබළිණි. ඔහු පේදුරුගේ පිටට තට්ටු කර අවදි කරමින්, “වහා ම නැඟිටින්නැ”යි කී ය. ඔහුගේ අත්වලින් දම්වැල් ගැලවී වැටුණේ ය.</verse>
				<verse number="8">දේව දූතයා ඔහුට කතා කොට, “ඉඟපටිය බැඳ, පාවහන් දමා ගන්නැ”යි කී ය. ඔහු එසේ කෙළේ ය. “ඔබේ සළුව ඇඟලාගෙන මා පස්සේ එන්නැ”යි දූතයා ඔහුට කී ය.</verse>
				<verse number="9">දූතයා කළ දේ ඇත්තක් බව නොදැන, තමා දර්ශනයක් දකින්නේ යයි සිතමින්, පේදුරු පිටත් ව දූතයා පසුපසින් ගියේ ය.</verse>
				<verse number="10">ඔව්හු පළමු වන, දෙ වන මුරකාවල් පසු කොට නුවරට පිවිසීමට ඇති යකඩ දොරටුවට ළඟා වූ හ. එය ඔවුන් සඳහා ඉබේ ම ඇරුණේ ය. ඔවුන් පිටතට ගොස් එක වීදියක් පසු කළ කෙණෙහි ම, දේව දූතයා ඔහු කෙරෙන් වෙන් ව ගියේ ය.</verse>
				<verse number="11">එවිට පේදුරු පියවි සිහිය ලැබ, කතා කොට, “සමිඳාණන් වහන්සේ තමන් දූතයා එවා, හෙරොද්ගේ බලයෙන් ද ජුදෙව් ජනතාවගේ සියලු බලාපොරොත්තුවලින් ද මා මිදූ බව සැබැවින් ම දනිමි”යි කී ය.</verse>
				<verse number="12">මෙය තේරුම්ගත් ඔහු මාක් නම් ලත් ජොහන්ගේ මව වූ මරියාගේ ගෙදරට පැමිණියේ ය. එහි බොහෝ දෙනෙක් රැස් ව යාච්ඤා කරමින් සිටියහ.</verse>
				<verse number="13">පේදුරු පිටත සිට දොරට තට්ටු කළ විට, රොදා නම් යුවතියක් ඒ කවුදැ යි බලන්නට ආවා ය.</verse>
				<verse number="14">ඈ පේදුරුගේ කටහඬ ඇඳින, ප්‍රීතිය නිසා දොරවත් නෑර, ඇතුළට දිව ගොස්, පේදුරු පිටත දොරකඩ ළඟ සිටින බව සැළ කළා ය.</verse>
				<verse number="15">“ඔබට පිස්සු ය”යි ඔව්හු කී හ. එහෙත්, ඒ ඔහු ම ය යි ඈ සහතික කොට කී විට “ඒ ඔහුගේ රැකවල් දූතයා ය”යි ඔව්හු කී හ.</verse>
				<verse number="16">එහෙත් පේදුරු දොරට තට්ටු කරමින් සිටියේ ය. දොර ඇරිය කල ඔව්හු පේදුරු දැක, විස්මිත වූ හ.</verse>
				<verse number="17">එහෙත් ඔහු ඔවුනට නිශ්ශබ්ද වන්නට අතින් සංඥා කොට, සමිඳාණන් වහන්සේ තමා හිර ගෙයින් පිටතට ගෙනා හැටි ඔවුනට විස්තර කොට, “ජාකොබ්ට ද අනෙක් සහෝදරයනට ද මෙපවත් දන්වන්නැ”යි කියා, පිටත් ව වෙන තැනකට ගියේ ය.</verse>
				<verse number="18">පහන් වූ කල, පේදුරුට කුමක් සිදුවී දැ යි හේවායන් අතර මහත් කැළඹීමක් ඇති විය.</verse>
				<verse number="19">හෙරොද් ඔහු සොයා, සම්බ නොවූ කල, මුර සෙබළුන්ගෙන් ප්‍රශ්න කොට, ඔවුන් මරන්නට අණ කෙළේ ය. ඉන්පසු ඔහු ජුදයෙන් කායිසාරියට ගොස්, එහි නැවතී සිටියේ ය.</verse>
				<verse number="20">හෙරොද්, තීර් සහ සීදොන් වැසියන් කෙරෙහි දැඩි කෝපයෙන් සිටියේ ය. එහෙත් ඔව්හු එක්සිත් ව ඔහු වෙතට පැමිණ, රජවාසල නිලමේ වූ බ්ලාස්තුස්ගේ සිත දිනා ගෙන, සාමදානය ඉල්ලුවෝ ය. මක්නිසා ද යත්, ඔවුන්ගේ රටට ආහාර ලැබුණේ ඒ රජුගේ රටින් ය.</verse>
				<verse number="21">නියම කරගත් දවසක හෙරොද් තෙමේ රාජාභරණ පැළඳ සිංහාසනාරූඪ වී, ජනතාව ඇමතුවේ ය.</verse>
				<verse number="22">ජනයා කෑගසමින්, “මෙය මිනිසෙකුගේ කටහඬ නොව, දෙවි කෙනෙකුගේ හඬ ය”යි කී හ.</verse>
				<verse number="23">හෙරොද් දෙවියන් වහන්සේට දිය යුතු ගෞරවය නුදුන් බැවින්, සමිඳාණන් වහන්සේගේ දුතයෙක් එකෙණෙහි ම ඔහුට පහර දුන්නේ ය. ඔහු පණුවන් විසින් කාදමන ලදුව මළේ ය.</verse>
				<verse number="24">එහෙත්, දෙවියන් වහන්සේගේ වචනය වර්ධනය වී පැතිරී ගියේ ය.</verse>
				<verse number="25">බාර්ණබස් ද සාවුල් ද තමන්ගේ මෙහෙය නිමවා මාක් නම් ලත් ජොහන් කැඳවා ගෙන, ජෙරුසලමෙන් පෙරළා ගියෝ ය.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">අන්තියෝකියේ පිහිටි සභාවෙහි දිවැසිවරු ද ගුරුවරු ද සිටියහ. එනම්, බාර්ණබස් සහ නීගර් නම් සිමියොන් ද සිරේනියේ ලුසියස් ද යුව රජ වූ හෙරොද් සමඟ ඇතිදැඩි වූ මානායින් ද සාවුල් ද යන මොවුහු ය.</verse>
				<verse number="2">ඔවුන් සමිඳාණන් වහන්සේට සේවය කරමින් උපවාසයේ යෙදී සිටි විට ශුද්ධාත්මයාණන් වහන්සේ කතා කොට, “මා විසින් බාර්ණබස් ද සාවුල් ද කැඳවනු ලැබූ සේවය සඳහා ඔවුන් මට වෙන් කරන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="3">එවිට ඔව්හු උපවාසයේ යෙදී යාච්ඤා කොට ඔවුන් පිට අත් තබා, ඔවුන් පිටත් කර යැවූ හ.</verse>
				<verse number="4">මෙසේ ඔව්හු ශුද්ධාත්මයාණන් විසින් යවන ලදුව සිලුකියට බැස ගොස්, එහි දී නැව් නැඟී සයිප්‍රසයට ගියහ.</verse>
				<verse number="5">සලමිසයට පැමිණි කල, ඔව්හු ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවල දී දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කළහ. ජොහන් ඔවුන්ගේ සහකාරයා විය.</verse>
				<verse number="6">ඔවුන් මුළු දිවයින හරහා පාපස් දක්වා ගිය විට ‘බාර් ජේසුස්’ නම් ජුදෙව් ජාතික බොරු දිවැසිවර ඉන්ද්‍රජාලිකයෙක් ඔවුනට හමු විය.</verse>
				<verse number="7">ඔහු සිටියේ බුද්ධිමත් මිනිසෙකු වූ සර්ගියස් පාවුලස් නම් දේශාධිපතියා සමඟ ය. ඒ අධිපති තෙමේ බාර්ණබස් සහ සාවුල් කැඳවාගෙන, දෙවියන් වහන්සේගේ වචනය අසන්නට කැමැති විය.</verse>
				<verse number="8">එහෙත් එලිමස් මැගෝස් යන ග්‍රීක නාමයකින් ද හඳුන්වනු ලැබූ යථෝක්ත ඉන්ද්‍රජාලිකයා ඒ ඇදහිල්ලෙන් දේශාධිපතියා වළක්වන අදහසින්, ඔවුනට විරුද්ධ විය.</verse>
				<verse number="9">එහෙත් පාවුලු යන නම ඇති සාවුල් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව, ඔහු දෙස නෙත් යොමා,</verse>
				<verse number="10">“වංචාකාර, කෛරාටික, හැම යහපතට ම සතුරුකම් කරන, යක්ෂයාගේ පුත්‍රය, නුඹ සමිඳාණන් වහන්සේගේ යහ මඟ නොමඟට පෙරළීම නවත්වන්නේ නැද් ද?</verse>
				<verse number="11">මෙන්න, සමිඳාණන් වහන්සේගේ උදහස නුඹ පිට ය. නුඹ අන්ධ වී කලකට ඉරු එළිය නොදක්නෙහි ය”යි කී ය. එකෙණෙහි ම ඇස් පටලයකින් ද අඳුරකින් ද ඔහුගේ ඇස් වැසිණි. ඔහු ද තමාට කනවැල අල්ලාගෙන යන්නට කෙනකු සොය සොයා ඒ මේ අත ගියේ ය.</verse>
				<verse number="12">එකල දේශාධිපති තෙමේ සිදු වූ දේ දැක, සමිඳාණන් වහන්සේගේ ඉගැන්වීම ගැන විස්මයට පත් වී, අදහා ගත්තේ ය.</verse>
				<verse number="13">පාවුලු සහ පිරිස පාපස්හි සිට නැව් නැඟී ගොස්, පම්පිලියේ පර්ගායට පැමිණියෝ ය. එවිට ජොහන් ඔවුන්ගෙන් වෙන් ව ජෙරුසලමට පෙරළා ගියේ ය.</verse>
				<verse number="14">ඔව්හු පර්ගායෙන් පිටත් ව ගමන් කොට, පිසිදියේ අන්තියෝකියට අවුත්, සබත් දවසේ දී ධර්මශාලාවට ඇතුළු වී අසුන් ගත්තෝ ය.</verse>
				<verse number="15">ව්‍යවස්ථාවලියෙන් ද දිවැසාවලියෙන් ද ධර්ම පාඨ කියවූ පසු ධර්මශාලා නායකයෝ, “සහෝදරයෙනි, මේ සෙනඟට ඔබගෙන් යම් කිසි ධර්මානුශාසනාවක් ඇත්නම් පවසන්නැ”යි ඔවුනට දැන්වූ හ.</verse>
				<verse number="16">එවිට පාවුලු නැඟිට අතින් සංඥා කොට, “ඉශ්රායෙල් ජනයෙනි, දේවභය ඇත්තෙනි, සවන් දෙන්න.</verse>
				<verse number="17">මේ ඉශ්රායෙල් ජනතාවගේ දෙවියන් වහන්සේ අපේ පියවරුන් තෝරාගෙන, මිසර දේශයේ විදේශී ව සිටිය දී ඔවුන් උසස් කොට, බලසම්පන්න බාහු බලයෙන් ඔවුන් එයින් පිටතට ගෙනා සේක.</verse>
				<verse number="18">උන් වහන්සේ හතළිස් අවුරුද්දක් පමණ කාලයක් පාළුකරයෙහි ඔවුන්ගේ හැසිරීම ගැන ඉවසිල්ලෙන් සිටි සේක.</verse>
				<verse number="19">උන් වහන්සේ කානාන් දේශයේ ජාතීන් හතක් විනාශ කොට, අවුරුදු හාරසිය පණහක පමණ කාලයක් ඒ ජාතීන්ගේ දේශය ඔවුන්ට උරුම කොට දුන් සේක.</verse>
				<verse number="20">එයින් පසු දිවැසිවර සාමුවෙල් දක්වා උන් වහන්සේ ඔවුන්ට වීරවරයන් දුන් සේක.</verse>
				<verse number="21">“ඉන්පසු ඔව්හු රජෙකු ඉල්ලා සිටියහ. දෙවියන් වහන්සේ බෙන්ජමින්ගේ ගෝත්‍රයේ මනුෂ්‍යයෙකු වූ කිෂ්ගේ පුත්‍ර වූ සාවුල්, හතළිස් අවුරුද්දකට ඔවුන්ට දුන් සේක.</verse>
				<verse number="22">උන් වහන්සේ ඔහු අස් කර, දාවිත් ඔවුන්ගේ රජු හැටියට පත් කළ සේක. උන් වහන්සේ ඔහු ගැන සාක්ෂි දෙමින්, ‘ජෙස්සේගේ පුත්‍ර වූ, මට ප්‍රියමනාප මිනිසෙකු වූ, මාගේ මුළු කැමැත්ත ඉටු කරන්නෙකු වූ දාවිත් මම සොයාගතිමි’යි වදාළ සේක.</verse>
				<verse number="23">දෙවියන් වහන්සේ පොරොන්දු දුන් ලෙස, ඔහුගේ පරපුරෙන් ඉශ්රායෙල් සෙනඟට ජේසුස් නම් ගැළවුම්කාරයෙකු දෙවා වදාළ සේක.</verse>
				<verse number="24">උන් වහන්සේගේ පැමිණීමට පෙර ජොහන් ඉශ්රායෙල්හි මුළු සෙනඟට පසුතැවී සිත් හරවා ගැනීමේ බව්තීස්ම-ස්නාපනය දේශනා කෙළේ ය.</verse>
				<verse number="25">තවද ජොහන් සිය මෙහෙය නිම කරන විට, ‘මම කවරෙක් කියා ඔබ සිතන්නෙහි ද? මම ඔබ සිතන තැනැත්තා නොවෙමි; මට පසුව කෙනෙක් එන සේක, උන් වහන්සේගේ පාවහන් මුදන්නට වත් මම නොවටිමි’යි කී ය.</verse>
				<verse number="26">“සහෝදරයෙනි, ආබ්‍රහම් වංශයේ පුත්‍රයෙනි, දේවභය ඇති සියල්ලෙනි, මේ ගැළවීමේ පණිවුඩය ඔබ සඳහා ය.</verse>
				<verse number="27">කවර හෙයින් ද? ජනතාවත් ඔවුන්ගේ පාලකයිනුත් උන් වහන්සේ ගැන තේරුම් නොගත්තත්, උන් වහන්සේ වරදට පත් කිරීමෙන් සත්තකින් ම කෙළේ, සෑම සබත් දිනක දී ම අප විසින් කියවනු ලබන දිවැස් වැකි සම්පූර්ණ කිරීම ය.</verse>
				<verse number="28">උන් වහන්සේ අත මරණයට සුදුසු කිසිවක් සොයා ගත නොහැකි වූ නමුත් උන් වහන්සේ මරණයට පත් කරන ලෙස ඔව්හු පිලාත්ගෙන් ඉල්ලූ හ.</verse>
				<verse number="29">මෙසේ උන් වහන්සේ ගැන ලියා තිබුණු සියල්ල සම්පූර්ණ කළ විට, ඔව්හු උන් වහන්සේ කුරුසියෙන් බා සොහොන් ගෙයක තැන්පත් කළහ.</verse>
				<verse number="30">එහෙත් දෙවියන් වහන්සේ උන් වහන්සේ උත්ථාන කළ සේක.</verse>
				<verse number="31">උන් වහන්සේ තමන් සමඟ ගලීලයේ සිට ජෙරුසලමට පැමිණි අයට බොහෝ දවසක් දර්ශනය වූ සේක. ඔව්හු දැන් උන් වහන්සේ ගැන ජනතාව ඉදිරියෙහි සාක්ෂිකාරයෝ ව සිටිති.</verse>
				<verse number="32">එබැවින් ‘දෙවියන් වහන්සේ පියවරුනට දුන් පොරොන්දුව ජේසුස් වහන්සේ උත්ථාන කිරීමෙන් අපේ දරුවනට ඉෂ්ට කළ සේක’ යන සුබ අස්න ඔබ වෙත ගෙනෙමු. ඒ බව, ‘ඔබ මාගේ පුත්‍රයාණෝ ය, අද ඔබ ජනිත කෙළෙමි’යි දෙ වන ගීතයෙහි ලියා තිබේ.</verse>
				<verse number="33">***</verse>
				<verse number="34">දිරාපත් නොවන ලෙස දෙවියන් වහන්සේ විසින් උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කර වදාළ බව පෙන්වීමට, ‘දාවිත්ට පොරොන්දු වූ ශුද්ධ, සහතික ආශීර්වාද ඔබට දෙන්නෙමි’යි කියා තිබේ.</verse>
				<verse number="35">ඇරත් තවත් ගීතයක: ‘ඔබගේ ශුද්ධ තැනැත්තා දිරාපත් වීමට ඉඩ නොදෙන්නෙමි’යි වදාරා ඇත.</verse>
				<verse number="36">දාවිත් දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ලෙස සිය පරම්පරාවේ දී මෙහෙ කළ පසු මරණයට පත් ව තමාගේ පියවරුන් අතර තැන්පත් කරනු ලැබ, දිරාපත් විය.</verse>
				<verse number="37">එහෙත් දෙවියන් වහන්සේ විසින් උත්ථාන කරන ලද තැනැන් වහන්සේ දිරාපත් නොවූ සේක.</verse>
				<verse number="38">එහෙයින්, සහෝදරයෙනි, උන් වහන්සේ කරණකොටගෙන පව් කමාව අප ඔබට ප්‍රකාශ කරන බව දැන ගන්න.</verse>
				<verse number="39">මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් ඔබට ලබා ගත නොහැකි වූ පාපයෙන් නිදහස දැන් උන් වහන්සේ අදහන සැමට ම සැම අතින් ම අත් වන්නේ ය.</verse>
				<verse number="40">එබැවින්, දිවැසිවරුන් කියා ඇති කාරණා ඔබ ගැන සත්‍ය නොවන පිණිස පරෙස්සම් වන්න. එනම්:</verse>
				<verse number="41">
					‘හෙළා දකින්නෙනි, බලන්න, පුදුම වන්න, පුදුම වී වැනසෙන්න;
					මන්ද, ඔබගේ දවස්වල දී එක් ක්‍රියාවක් කරමි. ඒ ක්‍රියාව ගැන යමෙක් ඔබට පැවසුවත් ඔබ එය කිසිසේත් විශ්වාස නොකරන්නහු ය,’ “ යනු යි.
				</verse>
				<verse number="42">ඔවුන් නික්ම යද්දී, ඊළඟ සබත් දවසෙහිත් එම වචන ප්‍රකාශ කරන ලෙස ඔව්හු ඉල්ලූ හ.</verse>
				<verse number="43">සමූහයා විසිර ගිය පසු ජුදෙව්වරුන්ගෙන් ද, ජුදෙව් ආගමට හැරුණු භක්තිවන්තයන්ගෙන් ද, බොහෝ දෙනෙක් පාවුලු සහ බාර්ණබස් අනුව ගියහ. ඔව්හු ඔවුන්ට දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙහි පවතින්නට අවවාද කළහ.</verse>
				<verse number="44">ඊළඟ සබත් දවසේ දී දෙවියන් වහන්සේගේ වචනය අසන පිණිස නුවර වැසි සියල්ලෝ ම වාගේ රැස් වූ හ.</verse>
				<verse number="45">එහෙත් ජුදෙව්වරු එම ජනකාය දැක, ඊර්ෂ්‍යාවෙන් පිරී, පාවුලු කී කාරණාවලට විරුද්ධ ව කතා කරමින් අපහාස කළහ.</verse>
				<verse number="46">එවිට පාවුලු ද බාර්ණබස් ද එඩිතර ව කතා කරමින් මෙසේ කී හ: “දෙවියන් වහන්සේගේ වචනය පළමුකොට ඔබට ප්‍රකාශ කළ යුතු ව තිබිණි. එහෙත් ඔබ එය ප්‍රතික්ෂේප කොට, සදාතන ජීවනයට ඔබ නුසුදුස්සන් බව ඔබ ම නිශ්චය කර ගන්නා හෙයින්, මෙන්න, අපි විජාතීන් වෙතට හැරෙමු.</verse>
				<verse number="47">මන්ද, සමිඳාණන් වහන්සේ අපට මෙසේ අණ කළ සේක: ‘ලොව පුරා ගැළවීම ගෙන දෙන පිණිස විජාතීන් අතර පහන් එළියක් ලෙස මම ඔබ තැබුවෙමි.’ “</verse>
				<verse number="48">විජාතීහු ඒ අසා සන්තෝෂ ව, දෙවියන් වහන්සේගේ වචනයට ගෞරව කළහ. සදාතන ජීවනය ලැබීමට තෝරාගන්නා ලද සියල්ලෝ ම අදහාගත්හ.</verse>
				<verse number="49">සමිඳාණන් වහන්සේගේ දහම ඒ පළාත මුළුල්ලෙහි ම පැතිරී ගියේ ය.</verse>
				<verse number="50">එහෙත් ජුදෙව්වරු සැදැහැවත් කුල ස්ත්‍රීන් ද නුවර ප්‍රභූන් ද පොළඹවා, පාවුලු සහ බාර්ණබස්ට විරුද්ධ ව පීඩාකාරී තත්ත්වයක් ඇති කර, තමන්ගේ පෙදෙස්වලින් ඔවුන් පිටතට නෙරපාදැමූ හ.</verse>
				<verse number="51">එවිට ඔව්හු තමන්ගේ පාදවල දූවිලි ඔවුන්ට විරුද්ධ ව ගසාදමා, ඉකෝනියට ගියහ.</verse>
				<verse number="52">ශ්‍රාවකයෝ ප්‍රීතියෙන් ද ශුද්ධාත්මයාණන්ගෙන් ද පූර්ණ වූ හ.</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">තවද ඔව්හු ඉකෝනියෙහි දී ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවලට ඇතුළු වී දේශනා කළහ. ඒ ඇසූ ජුදෙව්වන්ගෙන් ද ග්‍රීක්වරුන්ගෙන් ද මහත් සමූහයක් අදහාගත්හ.</verse>
				<verse number="2">එහෙත් අදහා නොගත් ජුදෙව්වරු විජාතීන් කළඹා, ඔවුන්ගේ සිත් සහෝදරයනට විරුද්ධ ව පෙළඹුවහු ය.</verse>
				<verse number="3">එහෙයින් ඔව්හු සමිඳාණන් වහන්සේගේ වරමින් එඩිතර ව කතා කරමින් බොහෝ කලක් එහි නැවතී සිටියහ. උන් වහන්සේ ඔවුන් ලවා අරුමපුදුම දේ ද ලකුණු ද කරවමින් සිය වරප්‍රසාදය පිළිබඳ ධර්මයට සාක්ෂි දැරූ සේක.</verse>
				<verse number="4">ඒ නගරයේ ජනයා දෙකට බෙදී සමහරෙක් ජුදෙව්වරුන්ගේ පක්ෂය ද අන් සමහරෙක් ප්‍රේරිතවරයන්ගේ පක්ෂය ද ගත්හ.</verse>
				<verse number="5">විජාතීන් ද ජුදෙව්වරුන් ද තමන්ගේ ප්‍රධානීන් සමඟ ඔවුන්ට නිග්‍රහ කරන්නටත් ගල් ගසන්නටත් අදහස් කළ කල්හි,</verse>
				<verse number="6">ඔව්හු ඒ දැන, ලුකොනියාවේ නගර වන ලුස්ත්‍රාවට ද දර්බයට ද අවට පෙදෙස්වලට ද පලා ගොස්,</verse>
				<verse number="7">එහි දී සුබ අස්න දේශනා කළහ.</verse>
				<verse number="8">මවුකුස පටන් කොර වූ, පාද දුර්වල වූ, කිසි කලෙකත් ඇවිදගත නොහැකි වූ එක්තරා මිනිසෙක් ලුස්ත්‍රාවේ එක් තැනක වාඩිවී සිටියේ ය.</verse>
				<verse number="9">ඔහු පාවුලු කතා කරනු ඇසී ය. පාවුලු ඔහු දෙස බලා, ඔහු සුවය ලබන්නට තරම් සැදැහැ ඇත්තෙකු බව දැක,</verse>
				<verse number="10">“නැඟිට පය බිම ගසා කෙළින් සිටින්නැ”යි මහත් හඬින් කී ය. එවිට ඔහු පැන නැඟිට ඇවිද්දේ ය.</verse>
				<verse number="11">එකල සමූහයා පාවුලු කළ දේ දැක ශබ්ද නඟා, “දෙවිවරු මිනිස් වෙසින් අප වෙතට බැස සිටිති”යි ලුකෝනීය බසින් කී හ.</verse>
				<verse number="12">ඔව්හු බාර්ණබස්ට සියුස් කියා ද, පාවුලු ප්‍රධාන කථිකයා බැවින් ඔහුට හෙර්මිස් කියා ද නම් තැබූ හ.</verse>
				<verse number="13">නුවර දොරටුවෙහි පිහිටි සියුස්ගේ දේවාලයේ පාලක පූජක තැන ගොනුන් ද මල්මාලා ද දොරටුව ළඟට ගෙනැවිත්, සමූහයන් සමඟ යාග කරන්නට සූදානම් විය.</verse>
				<verse number="14">එහෙත් ප්‍රේරිතවරුන් වූ බාර්ණබස් ද පාවුලු ද ඒ ගැන අසා, තමන්ගේ වස්ත්‍ර ඉරාගෙන සමූහයා අතරට දිව ගොස්, මොරගසා,</verse>
				<verse number="15">“මනුෂ්‍යයිනි, ඔබ මේ දේවල් කරන්නේ මන් ද? අපිත් ඔබ හා සමාන මිනිස්සු ය, ඔබ මේ නිෂ්ඵල දේවලින් දුරු ව, අහසත්, පොළොවත්, මුහුදත්, එහි ඇති සියල්ලත් මැවූ, ජීවමාන දෙවියන් වහන්සේ වෙතට හැරෙන පිණිස සුබ අස්න ඔබ වෙත ගෙනෙමු.</verse>
				<verse number="16">උන් වහන්සේ යටගිය පරම්පරාවල දී සියලු ජාතීන්ට තම තමන් සිතූ පැතූ ලෙස හැසිරෙන්නට ඉඩ හැරිය සේක.</verse>
				<verse number="17">එහෙත් උන් වහන්සේ තමන් වහන්සේ ගැන සාක්ෂි නො දී සිටි කලක් නො වී ය. මන්ද, උන් වහන්සේ අහසින් වර්ෂාව ද සාරවත් කාල සීමාවන් ද ඔබට දී ආහාරයෙන් හා ප්‍රීතියෙන් ඔබගේ සිත් පුරවමින්, යහපත්කම් කළ සේකැ”යි කී හ.</verse>
				<verse number="18">ඔවුන් එසේ කී නමුත්, තමනට පූජා ඔප්පු කිරීමෙන් ජනයා වළක්වා ගත හැකි වූයේ ඉතා අමාරුවෙනි.</verse>
				<verse number="19">එහෙත් අන්තියෝකියෙන් ද ඉකෝනියෙන් ද ජුදෙව්වරු අවුත් සමූහයන් පොළඹවා ගෙන, පාවුලුට ගල් ගසා, ඔහු මළහ යි සිතා නුවරින් පිටතට ඇද්දෝ ය.</verse>
				<verse number="20">එහෙත් ශ්‍රාවකයන් ඔහු අවට රැස් ව සිටි කල, ඔහු නැඟිට නුවරට ඇතුළු වී, පසුදා බාර්ණබස් සමඟ දර්බයට ගියේ ය.</verse>
				<verse number="21">ඔව්හු ඒ නුවර සුබ අස්න දේශනා කොට, බොහෝ දෙනෙකු ශ්‍රාවකයන් කර, ලුස්ත්‍රාවට ද ඉකෝනියට ද අන්තියෝකියට ද හැරී අවුත්,</verse>
				<verse number="22">“අප බොහෝ දුක් විඳිමින් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවන්නට ඕනෑ ය”යි කියා ශ්‍රාවකයන් ධෛර්යවත් කර, ඇදහිල්ලේ ස්ථීර ව පවතින්නට ඔවුනට අවවාද කළහ.</verse>
				<verse number="23">ඔව්හු එක එක සභාවේ සැදැහැවතුන් කෙරෙහි සභා මූලිකයන් පත් කොට, උපවාසයේ යෙදී යාච්ඤා කර, තමන් අදහා ගත් සමිඳාණන් වහන්සේට ඔවුන් භාර දී,</verse>
				<verse number="24">පිසිදිය මැදින් ගොස්, පම්පිලියට පැමිණියහ.</verse>
				<verse number="25">ඔව්හු පර්ගායේ දී වචනය දේශනා කොට, අත්තාලියට ගොස්</verse>
				<verse number="26">එතැනින් නැව් නැඟී අන්තියෝකියට පැමිණියහ. ඔවුන් ඉෂ්ට කළ සේවය නිසා දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයට ඔවුන් කල්මත්තෙන් භාර දෙන ලද්දේ මේ අන්තියෝකියේ දී ය.</verse>
				<verse number="27">එහි පැමිණි කල, ඔව්හු සභාව රැස් කරවා දෙවියන් වහන්සේ තමන් ලවා ඉටු කළ සියල්ල ද විජාතීන්ට උන් වහන්සේ විශ්වාසය කරා දොරක් ඇර දුන් බව ද දැන්වූ හ.</verse>
				<verse number="28">තවද, ඔව්හු ශ්‍රාවකයන් සමඟ බොහෝ කලක් එහි නැවතී සිටියහ.</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">ජුදයෙන් සමහර දෙනෙක් අවුත්, “මෝසෙස්ගෙන් පැවත එන සිරිත ලෙස ඔබ චර්මඡේදනය කරනු නොලැබුවහොත් ඔබට ගැළවීම ලැබිය නොහැකි ය”යි සහෝදරයන්ට ඉගැන්වූ හ.</verse>
				<verse number="2">එහෙයින් ඔවුන් ද පාවුලු හා බාර්ණබස් ද අතර වේගවත් වාද විවාද ඇති විය. මේ ප්‍රශ්නය ගැන ප්‍රේරිතයන් සහ සභා මූලිකයන්ගෙන් විචාරන පිණිස පාවුලු සහ බාර්ණබස් ද අන්තියෝකියෙන් තවත් සමහරෙක් ද ජෙරුසලමට යැවීමට නියම කරනු ලැබූ හ.</verse>
				<verse number="3">මෙසේ ඔව්හු සභාව විසින් යවන ලදුව, පිනීසිය ද සමාරිය ද මැදින් ගොස්, විජාතීන්ගේ හැරීම ප්‍රකාශ කරමින්, සියලු සහෝදරයනට මහත් ප්‍රීතියක් ගෙන දුන්හ.</verse>
				<verse number="4">ඔවුන් ජෙරුසලමට පැමිණි කල, සභාව ද ප්‍රේරිතයෝ ද සභා මූලිකයෝ ද, ඔවුන් පිළිගත්හ. ඉන්පසු ඔව්හු දෙවියන් වහන්සේ තමන් ලවා ඉටු කරැවූ සියලු දේ ඔවුන්ට දැන්වූ හ.</verse>
				<verse number="5">එවිට පරිසිවරුන්ගේ කණ්ඩායමට අයත් ඇදහිලිවතුන් සමහරෙක් නැඟිට, “චර්මඡේදනය කරන්නටත් මෝසෙස්ගේ ව්‍යවස්ථාව පිළිපදින්නටත් ඔවුන්ට නියම කළ යුතු ය”යි කී හ.</verse>
				<verse number="6">ප්‍රේරිතවරයෝ ද සභා මූලිකයෝ ද මේ කාරණය ගැන කල්පනා කර බලන පිණිස රැස් වූ හ.</verse>
				<verse number="7">දීර්ඝ විවාදයක් ඇති වූ පසු පේදුරු නැඟිට ඔවුන් අමතා, “සහෝදරයෙනි, විජාතීන් මාගේ මුඛයෙන් පණිවුඩය අසා අදහන පිණිස බොහෝ කලකට ඉහත දෙවියන් වහන්සේ ඔබ අතරෙන් මා තෝරා ගත් බව ඔබ දන්නහු ය.</verse>
				<verse number="8">සියලු සිත් දන්නා වූ දෙවියන් වහන්සේ අපට මෙන් ම ඔවුන්ටත් ශුද්ධාත්මයාණන් දී, ඔවුන් ද පිළිගත් අය බවට සාක්ෂි දුන් සේක.</verse>
				<verse number="9">උන් වහන්සේ, ඔවුන් සහ අප අතර කිසි වෙනසක් නොකොට, ඇදහිල්ල කරණකොටගෙන ඔවුන්ගේ සිත් පවිත්‍ර කළ සේක.</verse>
				<verse number="10">එබැවින් අපගේ පියවරුන්ට වත් අපට වත් දැරිය නොහැකි වියගසක් ශ්‍රාවකයන්ගේ කර පිට තැබීමෙන් ඔබ කුමක් නිසා දෙවියන් වහන්සේ පිරික්සන්නහු ද?</verse>
				<verse number="11">එසේ නොව, ඔවුන් මෙන් ම අපත් ගැළවෙන්නේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ වරප්‍රසාදයෙන් බව විශ්වාස කරමු”යි කී ය.</verse>
				<verse number="12">එවිට මුළු සමූහයා නිශ්ශබ්ද වී, තමන් ලවා දෙවියන් වහන්සේ විජාතීන් අතර දැක් වූ ලකුණු ද අරුමපුදුම දේ ද ගැන පාවුලු සහ බාර්ණබස් කී සියල්ලට සවන් දුන්හ.</verse>
				<verse number="13">ඒ දෙදෙනා කතා කර නිම වූ පසු ජාකොබ් පිළිතුරු දෙමින්,</verse>
				<verse number="14">“සහෝදරයෙනි, මට සවන් දුන මැනව. දෙවියන් වහන්සේ තමන්ගේ නාමය දැරීමට විජාතීන් අතුරෙන් සෙනඟක් තෝරාගන්නා පිණිස මුල පටන් ම ක්‍රියා කළ සැටි සීමොන් කියා දුන්නේ ය.</verse>
				<verse number="15">දිවැසිවරුන්ගේ වචනයෙන් ද එය අනුමත වේ, ඒ මෙසේ ය: ‘මින්පසු මම හැරී අවුත්, දාවිත්ගේ වැටී ගිය මණ්ඩපය නැවත සාදා, එහි නටබුන් තැන් ද යළිත් ගොඩනඟා, සවිමත් කරන්නෙමි. එවිට අවශේෂ මනුෂ්‍යයන් ද මාගේ නාමය දරන සියලු ජාතීන් ද, සමිඳාණන් වහන්සේ සොයන්නෝ ය. ලෝකයේ පටන්ගැන්මේ සිට ක්‍රියා කරන සමිඳාණන් වහන්සේ මේ සියල්ල වදාරන සේක.’</verse>
				<verse number="16">***</verse>
				<verse number="17">***</verse>
				<verse number="18">***</verse>
				<verse number="19">“එබැවින් මාගේ නිගමනය නම්; විජාතීන් අතර දෙවියන් වහන්සේ වෙතට හැරෙන්නන්ට තවත් හිරිහැර නොකොට,</verse>
				<verse number="20">රූප සම්බන්ධ දූෂණකම්වලින් ද කාමමිථ්‍යාචාරයෙන් ද බොටුව මිරිකා මැරූ සතුන්ගේ මස් කෑමෙන් ද ලෙයින් ද වැළකෙන ලෙස ලිපියකින් දන්වා යැවිය යුතු ය, යනු යි.</verse>
				<verse number="21">මන්ද, ආදි පරම්පරාවල සිට ම මෝසෙස්ගේ ව්‍යවස්ථාව ප්‍රකාශ කරන්නෝ සියලු නගරවල සිටිති. ඔව්හු සියලු සබත් දිනවල එය ධර්මශාලාවල දී කියවති”යි කී ය.</verse>
				<verse number="22">එකල තමන් අතරෙන් නියෝජිතයන් තෝරාගෙන, ඔවුන් පාවුලු සහ බාර්ණබස් සමඟ අන්තියෝකියට යැවීම යහපතැ යි ප්‍රේරිතයන්ට ද සභා මූලිකයන්ට ද මුළු සභාවට ද පෙනී ගියේ ය. තෝරාගනු ලැබුවෝ නම්, සහෝදරයන් අතර මූලිකයන් වන බර්සබස් නම් ලත් ජූදස් සහ සීලස් ය.</verse>
				<verse number="23">ඔවුන් අත මෙසේ ලියා යවන ලදී: “ප්‍රේරිතවරයෝ ද සහෝදර සභා මූලිකයෝ ද වන අපි අන්තියෝකියෙහිත් සිරියාවෙහිත් සිලිසියාවෙහිත් වසන විජාතී වූ සහෝදරයන් වෙත සුබ පතමින් මෙසේ ලියා එවමු:</verse>
				<verse number="24">අපේ අනුමැතිය නොලත් සමහරෙකු අප අතරෙන් පිටත් ව ගොස්, නොයෙක් දේ කියා ඔබ කළඹමින් ඔබගේ සිත් අවුල් කළ බව අපි ඇසීමු.</verse>
				<verse number="25">එහෙයින් තමන්ගේ දිවි නොතකා, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමය නිසා, ජීවිත කැප කළ අපගේ ප්‍රේමණීය බාර්ණබස් ද පාවුලු ද සමඟ, නියෝජිතයන් තෝරා ගෙන ඔබ වෙතට එවීම සුදුසු යයි රැස් වූ අපගේ ඒකමතික තීරණය විය.</verse>
				<verse number="26">***</verse>
				<verse number="27">එහෙයින් ජූදස් ද සීලස් ද ඔබ වෙත එවමු. ඔවුන් මේ කාරණා ම ඔබට කට වචනයෙන් ද කියනු ඇත.</verse>
				<verse number="28">එනම්, දේව පිළිමවලට පිදූ දෙයින් ද ලෙයින් ද බොටුව මිරිකා මැරූ සතුන් කෑමෙන් ද කාමමිථ්‍යාචාරයෙන් ද ඔබ වැළකිය යුතු බව මිස, වෙන කිසි බරක් ඔබ පිට නොතැබීම යහපතැ යි ශුද්ධාත්මයාණන්ටත් අපටත් පෙනී ගියේ ය. ඔබ මේවායින් වළකින්නහු නම් යහපති. ඔබට සෙත් වේ වා!”</verse>
				<verse number="29">***</verse>
				<verse number="30">මෙසේ යවනු ලැබූ ඔව්හු, අන්තියෝකියට පැමිණ, සමූහයා රැස් කරවා ලිපිය භාර දුන්හ.</verse>
				<verse number="31">සමූහයා එය කියවා, ඒ අනුශාසනාව ගැන ප්‍රීති වූ හ.</verse>
				<verse number="32">ජූදස් සහ සීලස් යන දෙදෙන දිවැසිවරයන් වූ බැවින්, බොහෝ වචනවලින් සහෝදරයන්ට අනුශාසනා කර, ඔවුන් ධෛර්යවත් කළහ.</verse>
				<verse number="33">ඔවුන් කලක් එහි නැවතී සිටි පසු සහෝදරයෝ ඔවුනට දේව පිහිට පතා, ඔවුන් එවූ අය වෙත ආපසු යැවූ හ. එහෙත්</verse>
				<verse number="34">එහි නැවතීම හොඳ ය යි සීලස්ට පෙනුණේ ය.</verse>
				<verse number="35">පාවුලු ද බාර්ණබස් ද තවත් බොහෝ දෙනෙකු සමඟ සමිඳාණන් වහන්සේගේ සුබ අස්න උගන්වමින් ද දේශනා කරමින් ද අන්තියෝකියෙහි නැවතී සිටියහ.</verse>
				<verse number="36">කීප දවසකට පසු පාවුලු බාර්ණබස්ට කතා කොට: “අපි සමිඳාණන් වහන්සේගේ සුබ අස්න ප්‍රකාශ කළ සියලු නුවරවල වසන සහෝදරයන්ගේ දුක් සැප කෙසේ දැ යි බලන පිණිස නැවත යමු”යි කී ය.</verse>
				<verse number="37">තමන් සමඟ මාක් නම් ලත් ජොහන් ද, කැඳවා ගෙන යන්නට බාර්ණබස් කැමැත්ත දැක්වී ය.</verse>
				<verse number="38">එහෙත් තමන් සමඟ සේවයට නොගොස්, පම්පිලියේ දී අහක් ව ගිය තැනැත්තා යළිත් කැඳවාගෙන යාම සුදුසු නැතැ යි පාවුලු සිතී ය.</verse>
				<verse number="39">ඒ ගැන දැඩි විවාදයක් හටගත් බැවින්, ඔව්හු එකිනෙකාගෙන් වෙන් ව ගියහ. බාර්ණබස් මාක් කැඳවාගෙන, සයිප්‍රසයට නැවෙන් ගියේ ය;</verse>
				<verse number="40">එහෙත් පාවුලු සීලස් තෝරා ගෙන, සහෝදරයන් විසින් සමිඳාණන් වහන්සේගේ වරප්‍රසාදයට භාර දෙන ලදුව, පිටත් වී,</verse>
				<verse number="41">සභාවන් ස්ථීර කරමින්, සිරියාව සහ සිලිසියාව මැදින් ගමන් කෙළේ ය.</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">තවද පාවුලු දර්බයටත් ලුස්ත්‍රාවටත් පැමිණියේ ය. කිතු දහම පිළිගත් ජුදෙව් ස්ත්‍රියකගේ පුත්‍ර වූ තිමෝතියස් නම් ශ්‍රාවකෙයක් එහි සිටියේ ය. ඔහුගේ පියා ග්‍රීකයෙකි.</verse>
				<verse number="2">ඔහු ලුස්ත්‍රාවෙහි ද ඉකෝනියෙහි ද සහෝදරයන් අතර ප්‍රශංසා ලැබූ කෙනෙකි.</verse>
				<verse number="3">පාවුලු, තමා සමඟ ඔහු කැඳවාගෙන යන්නට අදහස් කර, ඒ පළාත්වල සිටි ජුදෙව්වරුන් නිසා ඔහු චර්මඡේදනය කෙළේ ය. මන්ද, ඔහුගේ පියා ග්‍රීකයෙකු බව සියල්ලන් දැන සිටි හෙයිනි.</verse>
				<verse number="4">ඔව්හු නුවරින් නුවරට ගමන් කරද්දී ජෙරුසලමේ සිටි ප්‍රේරිතයන් විසින් ද සභා මූලිකයන් විසින් ද පනවන ලද නියෝග පවත්වන්නට ඔවුන්ට භාර දුන්හ.</verse>
				<verse number="5">මෙසේ සභාවෝ ඇදහිල්ලෙහි වර්ධනය වූ හ. දිනෙන් දින සෙනඟගේ ගණන ද වැඩි විය.</verse>
				<verse number="6">ආසියාවෙහි වචනය දේශනා කිරීම ශුද්ධාත්මයාණන් විසින් තහනම් කරන ලද බැවින්, ඔව්හු පිරිගිය සහ ගලාතිය ප්‍රදේශයන් මැදින් ගියහ.</verse>
				<verse number="7">ඔව්හු මිසියේ සීමාව තෙක් අවුත්, බිතිනියට යන්නට උත්සාහ කළහ. එහෙත් ජේසුස් වහන්සේගේ ආත්මයාණෝ ඔවුන්ට ඉඩ නුදුන්හ.</verse>
				<verse number="8">එවිට ඔව්හු මිසිය පසු කොට ත්‍රෝවසට බැස ආහ.</verse>
				<verse number="9">එහි දී පාවුලු රාත්‍රියෙහි දර්ශනයක් දුටුවේ ය; එනම්: “මසිදෝනියට අවුත් අපට ආධාර කරන්නැ”යි මසිදෝනියේ මනුෂ්‍යයෙක් නැඟිට සිට ඔහුගෙන් අයැදී ය.</verse>
				<verse number="10">ඔවුන්ට සුබ අස්න දේශනා කරන්නට දෙවියන් වහන්සේ අප කැඳෙව් බව ඔහුගේ දර්ශනයෙන් තේරුම් ගත් අපි එකෙණෙහි ම මසිදෝනියට යන්නට සැරසුණෙමු.</verse>
				<verse number="11">එහෙයින් අපි ත්‍රෝවසෙන් නැව් නැඟී, කෙළින් ම සමොත්‍රාසියට ද පසුවදා නෙයාපොලිසියට ද යාත්‍රා කර,</verse>
				<verse number="12">එයින් මසිදෝනියේ දිස්ත්‍රික්කයක ප්‍රධාන නගරය වූ ද, රෝම ජනපදයක් වූ ද පිලිප්පියට අවුත්, එහි කීප දවසක් නැවතී සිටියෙමු.</verse>
				<verse number="13">සබත් දවසේ දී, නුවර වාසලෙන් පිට යාච්ඤා ස්ථානයක් ඇතැ යි අපට සිතුණු බැවින්, අප පිටත් ව ගං තෙරකට ගොස් එහි රැස් ව සිටි ස්ත්‍රීනට කතා කෙළෙමු.</verse>
				<verse number="14">ඔවුන් අතර ලිදියා නම් ස්ත්‍රියක් අපට සවන් දෙමින් සිටියා ය. ඈ තියාතිරා නුවරින් පැමිණි, දම්පාට සායම් බඩු විකුණූ වෙළෙන්දියකි; දෙවියන් වහන්සේට නමස්කාර කළ ස්ත්‍රියකි. පාවුලු කී කරුණු සිතට ගන්නා ලෙස දෙවියන් වහන්සේ ඇගේ සිත පැහැදූ සේක.</verse>
				<verse number="15">ඈ ද ඇගේ ගෙයි වැසියන් ද බව්තීස්ම-ස්නාපනය ලැබූ පසු, ඈ කතා කොට, “මම සැබැවින් ම සමිඳාණන් වහන්සේ අදහන කෙනෙකැ යි ඔබ පිළිගන්නවා නම්, මාගේ ගෙදරට අවුත් එහි නැවතුණ මැනවැ”යි අපෙන් උදක් ම ඉල්ලා, අප කැමැති කරවා ගත්තා ය.</verse>
				<verse number="16">අප යාච්ඤා කරන තැනට යද්දී, ගුප්ත දෑ හෙළි කරන ආත්මයක් ආවේශ වූ, පේන කීමෙන් ස්වකීය ස්වාමිවරුන්ට බොහෝ ලාභ උපදවා දුන්, එක්තරා වහල් තරුණියක් අපට හමු වූවා ය.</verse>
				<verse number="17">ඈ පාවුලුත් අපත් පසුපස එමින්, “මේ අය ගැළවීමේ මාර්ගය අපට ප්‍රකාශ කරන, පරමෝත්තම දෙවියන් වහන්සේගේ දාසයෝ” යයි මොරගසා කීවා ය.</verse>
				<verse number="18">ඈ දවස් කීපයක් ම මෙසේ කළා ය. එවිට පාවුලු අතිශයින් අප්‍රසන්න වී, ආත්මයට කතා කොට, “ඇගෙන් අහක් වී යන්නට ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් නුඹට අණ කරමි”යි කී ය. ඒ මොහොතේ දී ම ඒ ආත්මය අහක් ව ගියේ ය.</verse>
				<verse number="19">එහෙත් ඇගේ ස්වාමිවරු, මුදල් ගරා ගැනීමේ තම බලාපොරොත්තුව නැති වූ බව දැක, පාවුලු සහ සීලස් අල්ලා වෙළෙඳාම්පළට ඇද ගෙන ගොස්, ප්‍රධානීන් ඉදිරියෙහි සිටෙව්වෝ ය.</verse>
				<verse number="20">ඉන්පසු නඩුකාරයන් ළඟට ද ඔවුන් ගෙන ගොස්, “ජුදෙව්වරුන් වන මේ මනුෂ්‍යයෝ අපගේ නුවර අතිශයින් කළඹමින්,</verse>
				<verse number="21">රෝමවරුන් වන අපට පිළිගන්නට වත් පිළිපදින්නට වත් බැරි නීතිවිරෝධි චාරිත්‍ර උගන්වති යි කී හ.</verse>
				<verse number="22">එවිට ජනයා ඔවුන්ට විරුද්ධ ව එක්ව නැඟී සිටියහ. නඩුකාරයෝ ද, ඔවුන්ගේ වස්ත්‍ර ඉරා දමා, කෝටුවලින් ඔවුන්ට තළන්නට අණ කළෝ ය.</verse>
				<verse number="23">ඔවුන්ට බොහෝ පහර දුන් පසු, හිරගෙයි දමා ඔවුන් පරිස්සමෙන් රැක බලාගන්නා ලෙස හිරගෙයි මුලාදෑනියාට අණ කළහ.</verse>
				<verse number="24">මෙසේ අණ ලැබූ ඔහු, ඔවුන් ඇතුළු සිරකාමරයේ දමා, ඔවුන්ගේ පාද දඬුකඳන්වල සවි කෙළේ ය.</verse>
				<verse number="25">එහෙත් මධ්‍යම රාත්‍රිය පමණේ දී, පාවුලු ද සීලස් ද යාච්ඤා කරමින් දෙවියන් වහන්සේට ගී ගැයූ හ. හිරකාරයෝ ද ඔවුන්ට ඇහුම්කන් දීගෙන සිටියහ.</verse>
				<verse number="26">හදිසියෙන් මහත් පොළෝකම්පාවක් විය. හිරගෙයි අත්තිවාරම් සෙලවිණි. එකෙණෙහි ම සියලු දොරවල් ඇරිණි; සියල්ලන්ගේ බැඳුම් ද ලිහිණි.</verse>
				<verse number="27">එකල හිරගෙයි මුලාදෑනියා නින්දෙන් අවදි ව, හිරගෙයි දොරවල් ඇරී තිබෙන බව දැක, හිරකරුවන් පැන ගියහ යි සිතා, කඩුව ඇද, සිය පණ හානි කරගන්නට සැරසුණේ ය.</verse>
				<verse number="28">එහෙත් පාවුලු, කතා කරමින් “ඔබට කිසි අනතුරක් කර නොගන්න; අපි සියල්ලෝ ම මෙහි ය”යි මහත් හඬින් මොරගසා කී ය.</verse>
				<verse number="29">එකල ඔහු පහනක් ඉල්ලා ගෙන ඇතුළට පැන, බියෙන් වෙවුලමින්, පාවුලු සහ සීලස් ඉදිරියෙහි වැටී,</verse>
				<verse number="30">ඔවුන් පිටතට කැඳවා, “ගැළවීම ලබන පිණිස මා කුමක් කළ යුතු දැ”යි ඇසී ය.</verse>
				<verse number="31">ඔව්හු පිළිතුරු දෙමින්, “ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අදහා ගන්න. එවිට ඔබ ගැළවෙන්නෙහි ය; ඔබ ද ඔබේ ගෙයි වැසියෝ ද ගැළවෙන්නාහ”යි කී හ.</verse>
				<verse number="32">තවද ඔව්හු ඒ මුලාදෑනියාට ද ඔහුගේ ගෙදර වැසි සියල්ලන්ට ද සමිඳාණන් වහන්සේගේ වචනය පහදා දුන්හ.</verse>
				<verse number="33">මුලාදෑනියා රාත්‍රියේ ඒ පැයේ දී ම ඔවුන් රැගෙන, ඔවුන්ගේ තුවාළ සේදුවේ ය. ඔහු ද ඔහුගේ ගෙයි වැසි සියල්ලෝ ද එවලේ ම බව්තීස්ම-ස්නාපනය ලැබූ හ.</verse>
				<verse number="34">ඔහු තමාගේ ගෙට ඔවුන් කැඳවා ගෙන ගොස්, කෑමෙන් සංග්‍රහ කොට තමා දෙවියන් වහන්සේ අදහා ගත් බැවින් සිය ගෙයි වැසි සියල්ලන් සමඟ අතිශයින් ප්‍රීති විය.</verse>
				<verse number="35">පහන් වූ කල නඩුකාරයෝ, “ඒ මනුෂ්‍යයන් නිදහස් කර හරින්නැ”යි පොලිස් සේවකයන් අත කියා යැවූ හ.</verse>
				<verse number="36">එවිට හිරගෙයි මුලාදෑනියා එපවත් පාවුලුට දන්වා, “ඔබ මුදා හරින්නට නඩුකාරවරු කියා එවූ හ. එබැවින් පිටතට අවුත් සාමදානයෙන් යන්නැ”යි කී ය.</verse>
				<verse number="37">එහෙත් පාවුලු ඔවුන්ට කතා කොට, “ඔව්හු, රෝම පුරවැසියන් වන අප විනිශ්චය නොකොට ප්‍රසිද්ධියේ අපට තළා අප හිරගෙයි දැමූ හ; දැන් ඔවුන් හදන්නේ රහසින් අප පිටත් කර හරින්නට ද? එසේ කරන්නට බැරි ය, ඔව්හු ම අවුත් අප පිටතට ගෙන යත්වා”යි කී ය.</verse>
				<verse number="38">පොලිස් සේවකයෝ එපවත් නඩුකාරයන්ට සැළ කළහ. ඔවුන් රෝමවරුන් බව ඇසූ විට නඩුකාරයෝ බිය වී,</verse>
				<verse number="39">අවුත් ඔවුනට කන්නලව් කර පිටතට කැඳවා, නුවරින් නික්ම යන ලෙස ඉල්ලා සිටියහ.</verse>
				<verse number="40">එවිට ඔව්හු හිර ගෙයින් පිටත් ව ගොස් ලිදියාගේ ගෙදරට පැමිණියහ. එහි දී ඔව්හු සහෝදරයන් හමු වී, ඔවුන් දිරි ගන්වා පිටත් ව ගියහ.</verse>
			</chapter>
			<chapter number="17">
				<verse number="1">ඔවුහු අම්පිපොලිසිය සහ අපොලෝනිය මැදින් ගොස් තෙසලෝනිකයට ආහ. එහි ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවක් තිබුණි.</verse>
				<verse number="2">පාවුලු සිය සිරිත ලෙස ඔවුන් වෙතට ගොස්, සබත් දින තුනක් ඔවුන් සමඟ වාද කරමින්,</verse>
				<verse number="3">ක්‍රිස්තුන් වහන්සේ දුක් විඳින්නටත්, මළවුන්ගෙන් උත්ථාන වන්නටත් යුතු ව තිබුණු බව ශුද්ධ ලියවිල්ලෙන් පාඨ ගෙනහැරපාමින් පැහැදිලි කර දුන්නේ ය. “තවද මා ඔබට ප්‍රකාශ කරන මේ ජේසුස් වහන්සේ වනාහි ක්‍රිස්තුන් වහන්සේ ම ය”යි පාවුලු ඔවුනට පහදා දුන්නේ ය.</verse>
				<verse number="4">ඔවුන්ගෙන් සමහරෙක් ද භක්තිවන්ත ග්‍රීකවරුන්ගෙන් මහත් සමූහයක් ද වැදගත් ස්ත්‍රීන්ගෙන් කීප දෙනෙක් ද ඒ අදහා ගෙන, පාවුලු සහ සීලස් සමඟ එක් වූ හ.</verse>
				<verse number="5">එහෙත් ජුදෙව්වරු ඊර්ෂ්‍යාවෙන් පිරී, රස්තියාදුකාරයන් අතරෙන් සමහර මැරවරයන් කැඳවාගෙන, සෙනඟ රැස් කර, නුවර කළඹා, ජාසොන්ගේ නිවස ළඟට පැමිණ, පාවුලු සහ සීලස් ඉන් පිට කර ජනකාය මැදට ගෙන්වා ගන්නට තැත් කළහ.</verse>
				<verse number="6">එහෙත් ඒ දෙදෙනා සොයා ගත නොහැකි වූ බැවින්, ඒ වෙනුවට ජාසොන් සහ සමහර සහෝදරයන් ද, නුවර මුළාදෑනීන් ළඟට ඇද ගෙන ගොස්, “ලෝකය පෙරලූ මේ අය මෙහි ද පැමිණ සිටිති; ජාසොන් ඔවුන් පිළිගත්තේ ය.</verse>
				<verse number="7">මොවුහු සියල්ලෝ ජේසුස් නම් වෙන රජෙක් ඇතැ යි කියා, සීසර් අධිරාජයාගේ නියෝගවලට විරුද්ධ ව ක්‍රියා කරති”යි මොරගසා කී හ.</verse>
				<verse number="8">මේ ඇසූ සමූහයා ද නුවර මුළාදෑනිහු ද කැළඹුණාහ.</verse>
				<verse number="9">ඔව්හු ජාසොන් ද අනෙක් අය ද ඇප පිට නිදහස් කළහ.</verse>
				<verse number="10">රෑ වූ විගස සහෝදරයෝ පාවුලු ද සීලස් ද බෙරියාවට යැවූ හ. ඔව්හු එහි පැමිණ ජුදෙව්වරුන්ගේ ධර්මශාලාවට ඇතුළු වූ හ.</verse>
				<verse number="11">එහි සිටි අය තෙසලෝනිකයෙහි අයට වඩා උදාර ගතිගුණ ඇත්තෝ වූ හ. ඔව්හු කරුණු හරි හැටි දැන ගන්නා පිණිස, දවස්පතා ශුද්ධ ලියවිල්ල පිරික්සමින් මුළු සිතින් ධර්මය පිළිගත්හ.</verse>
				<verse number="12">එහෙයින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ද ග්‍රීක් කුල කාන්තාවන්ගෙන් සහ පුරුෂයන්ගෙන් කීප දෙනෙක් ද අදහා ගත්හ.</verse>
				<verse number="13">එහෙත් පාවුලු බෙරියාවෙහිදීත් දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කළ බව ඇසූ තෙසලෝනිකයේ ජුදෙව්වරු එතැනට පැමිණ, සමූහයා අවුස්සා කැළඹීමක් ඇති කළෝ ය.</verse>
				<verse number="14">එවිට සහෝදරයෝ එවේලේ ම පාවුලු මුහුදු වෙරළට පිටත් කර යැවූ හ. සීලස් ද තිමෝතියස් ද එහි ම නැවතී සිටියහ.</verse>
				<verse number="15">පාවුලු ඇරලීමට ගිය අය ඇතන්ස් නගරය දක්වා ඔහු පිරිවරා ගියහ. හැකි පමණ ඉක්මනින් තමා වෙතට එන මෙන්, සීලස්ට ද තිමෝතියස්ට ද පාවුලුගෙන් නියමයක් රැගෙන ඔව්හු ආපසු ගියහ.</verse>
				<verse number="16">පාවුලු ඇතන්ස්හි ඔවුන්ගේ පැමිණීම බලා සිටිය දී, ඒ නුවර දේව රූපවලින් පිරී තිබෙන බව දැක ඔහුගේ සිත කැළඹී ගියේ ය.</verse>
				<verse number="17">එබැවින් ඔහු ධර්මශාලාවේ දී ජුදෙව්වරුන් හා භක්තිවන්තයන් සමඟ ද, වෙළෙඳාම් පොළේ දී දිනපතා හමු වූවන් සමඟ ද වාද කෙළේ ය.</verse>
				<verse number="18">එපීකුරිය සහ ස්තෝයික දාර්ශනිකයන්ගෙන් සමහරෙක් ද ඔහුට මුණ ගැසුණාහ. ඇතැමෙක්, “මේ වාචාලයා කුමක් කියන්නට හදනවා දැ”යි කී හ. “ඔහු අන්‍ය දෙවිදේවතාවන් ප්‍රචාරය කරන්නෙකු මෙන් පෙනේ ය”යි සමහරු කී හ. මෙසේ කීවේ ඔහු ජේසුස් වහන්සේ හා උන් වහන්සේගේ පුනරුජ්ජීවනය ප්‍රකාශ කළ බැවිනි.</verse>
				<verse number="19">එබැවින් ඔව්හු අරියෝපගයේ රැස්වීමට ඔහු ගෙන ගොස්, “ඔබ උගන්වන මේ අලුත් ධර්මය අපටත් දැනගන්නට පුළුවන් ද?</verse>
				<verse number="20">මන්ද, සමහර අපූරු කාරණ ඔබ අපේ කන්වල හෙළන්නෙහි ය. එහෙයින් මේ කාරණාවල අර්ථය කිමෙක් දැ යි දැනගන්ට කැමැත්තෙමු”යි කී හ.</verse>
				<verse number="21">සියලු ඇතන්ස් වැසියෝ ද එහි පදිංචි ව සිටි විදේශීහු ද අලුත් මතිමතාන්තර ගැන කතාබහ කරමින් හෝ ඒවාට සවන් දීමෙන් හෝ මිස වෙන අයුරකින් කාලය ගත නොකළහ.</verse>
				<verse number="22">එවිට පාවුලු, අරියෝපග ශාලාව මැද සිට මෙසේ දෙසී ය: “ඇතන්ස් වැසියෙනි, ඔබ හැම අතින් ම ආගම ධර්මයට ලැදිකම් ඇති අය බව මට පෙනේ.</verse>
				<verse number="23">ඔබ නමස්කාර කරන වස්තු නරඹමින් මා යන අතර, ‘නාඳුනන දෙවියන්ට ය’ යන ලේඛනයක් ඇති පූජාසනයක් ද දිටිමි. ඔබ නොදැන නමස්කාර කරන ඒ දෙවියන් මම ඔබට ප්‍රකාශ කරමි.</verse>
				<verse number="24">ලෝකය ද එහි සියල්ල ද මවා වදාළ දෙවියන් වහන්සේ ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීන් ව සිටින බැවින්, උන් වහන්සේ මිනිස් අතින් සාදන ලද මාලිගාවල නොවසන සේක.</verse>
				<verse number="25">උදව්උපකාරයෙන් යැපෙන අයෙකු සේ උන් වහන්සේ මිනිස් අත්වලින් උපස්ථාන නොලබන සේක. මන්ද, සියල්ලන්ට ජීවිතය ද හුස්ම ද අන් සියලු දේ ද දෙන්නේ උන් වහන්සේ ය.</verse>
				<verse number="26">උන් වහන්සේ එක් මිනිසෙකුගෙන් සකල මිනිස් සංහතිය මවා වදාළ සේක. මිහි පිට වාසය කරන පිණිස නියමිත කාලයන් ද වාසස්ථානවල සීමා ද නියම කළ සේක.</verse>
				<verse number="27">මෙසේ කෙළේ දෙවියන් වහන්සේ ගැන හැඟීමකින් ද, හමුවන බලාපොරොත්තුවෙන් යුතුව ද උන් වහන්සේ සොයන පිණිස ය. උන් වහන්සේ අප එකිනෙකාට නුදුරු ව සිටින සේක.</verse>
				<verse number="28">“මන්ද, කියා තිබෙන පරිදි, ‘අපි උන් වහන්සේ තුළ ජීවත් වෙමු, හැසිරෙමු, පවතිමු.’ තවද, ඔබගේ කිවිවරයන්ගෙන් සමහරෙකු පවා කියා තිබෙන පරිදි, ‘අපි උන් වහන්සේගේ දරුවෝ වෙමු.’</verse>
				<verse number="29">අප දෙවියන් වහන්සේගේ දරුවන් වන බැවින් දේවත්වය වනාහි මිනිස් කලාශිල්පයෙන් හා දක්ෂකමින් හා කැටයම් කළ රනට වත් රිදීයට වත් ගලට වත් සමාන යයි නොසිතිය යුතු ය.</verse>
				<verse number="30">ඉතින් මේ නොදැනුම් කමේ කාලයන් දෙවියන් වහන්සේ නොතකා හැරිය නමුත් දැන් සියලු මනුෂ්‍යයන්ට සියලු තැන්හි පසුතැවී සිත් හරවා ගන්නට දැන් අණ කරන සේක.</verse>
				<verse number="31">මන්ද, තමන් වහන්සේ විසින් පත් කරන ලද මනුෂ්‍යයෙකු ලවා ලෝකයා ධර්මිෂ්ඨකමින් විනිශ්චය කිරීමට එක් දවසක් නියම කර තිබේ. උන් වහන්සේ ඒ මනුෂ්‍යයා මළවුන්ගෙන් උත්ථාන කිරීමෙන් සියල්ලන්ට ඒ ගැන සහතිකයක් දී තිබේ.”</verse>
				<verse number="32">මළවුන්ගෙන් උත්ථාන වීම ගැන ඔවුන්ට ඇසුණ කල, සමහරු සරදම් කළහ. සමහරු, “මේ ගැන ඔබ කියන දේ අපි නැවත වරක් අසන්නෙමු”යි කී හ.</verse>
				<verse number="33">එවිට පාවුලු ඔවුන් කෙරෙන් අහක් ව ගියේ ය.</verse>
				<verse number="34">එහෙත් සමහර අය ඔහුට එකතු වී අදහා ගත්හ. ඔවුන් අතරෙහි අරියෝපගීය දියෝනිසියස් ද දමරිස් නම් ස්ත්‍රියක් ද තවත් අය ද වූ හ.</verse>
			</chapter>
			<chapter number="18">
				<verse number="1">මින්පසු පාවුලු ඇතන්ස් නුවරින් පිටත්ව, කොරින්තියට පැමිණියේ ය.</verse>
				<verse number="2">එහි දී ඔහුට මෑතක දී ඉතාලියට පැමිණි, පන්තස්හි උපන් අකිලා නම් එක්තරා ජුදෙව්වරයෙක් මුණගැසුණේ ය. ක්ලෞදියස් සියලු ජුදෙව්වරුන්ට රෝමයෙන් අහක් ව යන්නට අණ කර තිබුණු බැවින්, ඔහු ප්‍රිස්කිලා නම් සිය බිරිඳ සමඟ කොරින්තියට පැමිණ සිටියේ ය. පාවුලු ඔහු හමු වීමට ගියේ ය.</verse>
				<verse number="3">දෙගොල්ල ම එක ම කර්මාන්තය කරන්නන් වූ බැවින්, පාවුලු ඔවුන් සමඟ නැවතී වැඩ කෙළේ ය. ඔවුන්ගේ කර්මාන්තය කූඩාරම් සෑදීම ය.</verse>
				<verse number="4">පාවුලු සියලු සබත් දවස්වල ධර්මශාලාවෙහි දී වාද කර, ජුදෙව්වරුන් ද ග්‍රීක්වරුන් ද ඇදහිල්ලට පමුණුවාගන්නට උත්සාහ කෙළේ ය.</verse>
				<verse number="5">සීලස් ද තිමෝතියස් ද මසිදෝනියෙන් ආ කල ජේසුස් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ ම යයි පාවුලු ජුදෙව්වරුන්ට සාක්ෂි දෙමින්, ධර්මය දේශනා කිරීමේ කාර්යයෙහි ම නිරත විය.</verse>
				<verse number="6">එහෙත් ඔවුන් විරුද්ධ ව සිට, අපහාස කළ කල්හි, පාවුලු තමාගේ වස්ත්‍රවල ධූලි ගසාදමා, ඔවුන්ට කතා කොට, “ඔබගේ ලේ ඔබගේ ම හිස් පිට වැගිරේ වා; මම නිදොස් වෙමි. මෙතැන් පටන් විජාතීන් වෙතට යමි”යි කී ය.</verse>
				<verse number="7">ඔහු එතැනින් නික්ම ගොස් දෙවියන් වහන්සේට නමස්කාර කළ තීතස් ජුස්තස් නම් මිනිසෙකුගේ ගෙදරට ගියේ ය. ඔහුගේ නිවස ධර්මශාලාවලට යාව තිබිණි.</verse>
				<verse number="8">ධර්මශාලා මුළාදෑනියා වූ ක්‍රිස්පස් තමාගේ ගෙයි වැසි සියල්ලන් සමඟ සමිඳාණන් වහන්සේ අදහා ගත්තේ ය. කොරින්තිවරුන්ගෙන් බොහෝ දෙනෙක් ද පාවුලුගේ බස් අසා අදහා ගෙන බව්තීස්ම-ස්නාපනය ලැබූ හ.</verse>
				<verse number="9">සමිඳාණන් වහන්සේ රාත්‍රියේ දී දර්ශනයකින් පාවුලුට කතා කොට, “ඔබ බිය නොවී, නිශ්ශබ්ද ව නොසිට කතා කරන්න.</verse>
				<verse number="10">මන්ද, මම ඔබ සමඟ සිටිමි; ඔබට අනතුරු කරන ලෙස කිසිවෙක් ඔබට විරුද්ධ ව නො එන්නේ ය. මට මේ නුවර බොහෝ සෙනඟ සිටිති”යි වදාළ සේක.</verse>
				<verse number="11">ඔහු දෙවියන් වහන්සේගේ වචනය ඔවුන් අතර උගන්වමින් එක් අවුරුදු සමසක් එහි වාසය කෙළේ ය.</verse>
				<verse number="12">එහෙත් ගලියෝ අකයියාවේ අධිපතියා ව සිටිය දී ජුදෙව්වරු එක්සිත් ව පාවුලුට විරුද්ධ ව නැඟී සිට, ඔහු විනිශ්චයාසනය ඉදිරියට ගෙනැවිත්,</verse>
				<verse number="13">“මොහු ව්‍යවස්ථාවලියට විරුද්ධ ව දෙවියන් වහන්සේට නමස්කාර කරන්නට මිනිසුන් පොළඹවන්නේ ය”යි පැමිණිලි කළහ.</verse>
				<verse number="14">පාවුලු කතා කරන්නට සැරසෙන විට ගලියෝ ජුදෙව්වරුන් අමතමින්, “ජුදෙව්වරුනි, මේ කාරණය අපරාධයක් වත් නපුරු දුෂ්ට කමක් වත් වී නම්, මා ඔබේ පැමිණිල්ලට සවන් දීම යුතු ය.</verse>
				<verse number="15">එහෙත් මේ වනාහි ඇතැම් වචන ගැන ද ඇතැම් නාම ගැන ද ඔබගේ ම ව්‍යවස්ථාවලිය ගැන ද වූ ප්‍රශ්න වන බැවින් ඒ ගැන ඔබ ම වගබලාගන්න; මේ දේවල් ගැන මම විනිශ්චයකාරයෙක් නොවන්නෙමි”යි කියා,</verse>
				<verse number="16">ඔවුන් නඩු ආසනය වෙතින් එලවාදැමුවේ ය.</verse>
				<verse number="17">එවිට ඒ සියල්ලෝ ධර්මශාලාවේ මුලාදෑනියා වූ සොස්තෙනේස් අල්ලා නඩු ආසනය ඉදිරියේ ඔහුට තැළූහ. එහෙත් ගලියෝ මේ ගැන සැලකුවේ නැත.</verse>
				<verse number="18">පාවුලු එහි තවත් කලක් නැවතී සිටි පසු, සහෝදරයන්ගෙන් සමුගෙන, සිරියාවට යන්නට නැව් නැංගේ ය. ප්‍රිස්කිලා ද අකිලා ද ඔහු සමඟ ගියහ. පාවුලු බාරයක් වී සිටි බැවින් කෙන්ක්‍රෙයායේ දී හිස මුඩු කරගත්තේ ය.</verse>
				<verse number="19">ඔවුන් එපීසයට පැමිණි විට, පාවුලු ඔවුන් එහි නැවැත් වී ය. එහෙත් ඔහු ධර්මශාලාවට ගොස් ජුදෙව්වරුන් සමඟ තර්ක කෙළේ ය.</verse>
				<verse number="20">තවත් කාලයක් එහි නැවතී සිටින ලෙස ඔවුන් ඉල්ලූ නමුත්, ඔහු ඊට එකඟ නොවී,</verse>
				<verse number="21">ඔවුන්ගෙන් සමුගනිමින්, “දෙවියන් වහන්සේ කැමැති සේක් නම් ඔබ වෙතට නැවත එන්නෙමි” කියා එපීසයෙන් නැව් නැංගේ ය.</verse>
				<verse number="22">ඔහු කායිසාරියට ගොඩ බැස, ජෙරුසලමට ගොස්, සභාවට ආචාර කොට, අන්තියෝකියට ගියේ ය.</verse>
				<verse number="23">ඔහු එහි කලක් ගත කළ පසු පිටත් ව ගලාතිය සහ පිරිගිය යන පළාත් මැදින් යමින් සියලු ශ්‍රාවකයන් ධෛර්යවත් කෙළේ ය.</verse>
				<verse number="24">අලෙක්සන්ද්‍රියාවෙහි උපන් අපොල්ලොස් නම් එක්තරා ජුදෙව්වරයෙක් එපීසයට ආවේ ය; ඔහු ව්‍යක්ත කථිකයෙකි; බහුශ්‍රැත ධර්ම දේශකයෙකි.</verse>
				<verse number="25">මේ මිනිසා සමිඳාණන් වහන්සේගේ මාර්ගය ගැන ඉගෙනීම ලැබූවෙකි. ඔහු ජ්වලිත සිතින්, දෙවියන් වහන්සේ පිළිබඳ කරුණු හරි ලෙස උගන්වමින් දේශනා කෙළේ ය. එහෙත් ඔහු දැන ගෙන සිටියේ ජොහන්ගේ බව්තීස්ම-ස්නාපනය පමණකි.</verse>
				<verse number="26">ඔහු ධර්මශාලාවෙහි දී නිර්භීත ව කතා කරන්නට පටන් ගත්තේ ය. ප්‍රිස්කිලා ද අකිලා ද ඔහුගේ බස් අසා, ඔහු තමන් ළඟට කැඳවාගෙන, දෙවියන් වහන්සේගේ මාර්ගය වඩා හරි ලෙස ඔහුට පහදා දුන්හ.</verse>
				<verse number="27">තවද ඔහු ග්‍රීසියට යන්නට අදහස් කළ කල්හි, සහෝදරයෝ ඔහු ධෛර්යවත් කොට, ඔහු පිළිගන්නා ලෙස ශ්‍රාවකයනට ලියා යැව්වෝ ය. ඔහු එහි පැමිණි කල, දේව වරප්‍රසාදය කරණකොටගෙන අදහාගෙන සිටි අයට බොහෝ උපකාර කෙළේ ය.</verse>
				<verse number="28">මන්ද, ඔහු ජේසුස් වහන්සේ ක්‍රිස්තුස් බව ශුද්ධ ලියවිල්ලෙන් පෙන්වා දෙමින්, ජුදෙව්වරුන්ගේ තර්ක ප්‍රසිද්ධියේ ම එඩිතර ලෙස බිඳහරිමින් පරාජය කෙළේ ය.</verse>
			</chapter>
			<chapter number="19">
				<verse number="1">තවද අපොල්ලොස් කොරින්තියෙහි සිටිය දී, පාවුලු ඉහළ පළාත් මැදින් ගමන් කොට, එපීසයට පැමිණියේ ය. එහි දී ඔහුට සමහර ශ්‍රාවකයෝ හමු වූ හ.</verse>
				<verse number="2">පාවුලු ඔවුන් අමතා: “ඔබ අදහා ගත් කල ශුද්ධාත්මයාණන් වහන්සේ ලැබුවහු දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. ඔව්හු, “නැත, ශුද්ධාත්මයාණන් වහන්සේ ඇති බවක් වත් නොඇසීමු”යි කී හ.</verse>
				<verse number="3">“එසේ වී නම්, ඔබ කුමන බව්තීස්ම-ස්නාපනයක් ලැබුවහු දැ”යි ඔහු ඇසී ය. “ජොහන්ගේ බව්තීස්ම-ස්නාපනය”යි ඔව්හු කී හ.</verse>
				<verse number="4">පාවුලු කතා කොට, “ජොහන් පසුතැවී සිත් හරවා ගැනීමේ බව්තීස්ම-ස්නාපනයෙන් බව්තීස්ම-ස්නාපනය කොට සෙනඟට කතා කරමින්, තමන්ට පසු ව එන තැනැන් වහන්සේ කෙරෙහි, එනම් ජේසුස් වහන්සේ කෙරෙහි අදහාගන්නා ලෙස සෙනඟට කී ය”යි පැවසී ය.</verse>
				<verse number="5">ඔව්හු ඒ අසා ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමයෙන් බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ හ.</verse>
				<verse number="6">පාවුලු ඔවුන් පිට අත් තැබූ කල ශුද්ධාත්මයාණන් වහන්සේ ඔවුන් කෙරෙහි පැමිණි සේක. ඔව්හු අන්‍ය භාෂාවලින් කතා කරමින් දිවැස් වැකි පැවසූ හ.</verse>
				<verse number="7">ඒ මනුෂ්‍යයෝ දොළොස් දෙනෙක් පමණ වූ හ.</verse>
				<verse number="8">පාවුලු ධර්මශාලාවට ඇතුළු වී තුන් මසක් අතරතුරේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන නිර්භීත ලෙස තර්ක කරමින් ද සිත් දිනාගැනීමට උත්සාහ කරමින් ද සාකච්ඡා කෙළේ ය.</verse>
				<verse number="9">එහෙත් සමහරුන් මුරණ්ඩු ව, අකීකරු ව, සමූහයා ඉදිරියෙහි ඒ ධර්ම මාර්ගය හෙළා දකිමින් කතා කළ කල්හි ඔහු ඔවුන්ගෙන් ඈත් වී, ශ්‍රාවකයන් වෙන් කරගෙන, තුරානස්ගේ ශිල්පශාලාවෙහි දවස්පතා තර්ක කරමින් සිටියේ ය.</verse>
				<verse number="10">මෙය දෙවසක් කෙරීගෙන ගියේ ය. මෙසේ ආසියාවේ විසූ සියලු ජුදෙව්වරු ද ග්‍රීක්වරු ද සමිඳාණන් වහන්සේගේ වචනය ඇසූ හ.</verse>
				<verse number="11">දෙවියන් වහන්සේ පාවුලුගේ අත්වලින් පුදුම හාස්කම් සිදු කළ සේක.</verse>
				<verse number="12">ඔහුගේ ශරීර ස්පර්ශය ලැබූ තුවායක් වත් රෙදිකඩක් වත් ලෙඩුන් ළඟට ගෙන ගිය කල රෝග ඔවුන්ගෙන් දුරු විය, නපුරු ආත්මයෝ ද පහ ව ගියහ.</verse>
				<verse number="13">එහෙත් සමහර සංචාරක ජුදෙව් යකැදුරෝ අශුද්ධාත්ම වැහී සිටි අය කෙරෙහි ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමය කියන්නට පටන් ගෙන, “පාවුලු දේශනා කරන ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට අණ කරමි”යි කී හ.</verse>
				<verse number="14">නායක පූජකයෙකු වූ ස්කේවා නම් ජුදෙව්වරයෙකුගේ පුත්‍රයෝ සත් දෙනෙක් මෙසේ කළහ.</verse>
				<verse number="15">එහෙත් අශුද්ධාත්මය උත්තර දෙමින්, “මම ජේසුස් වහන්සේ අඳුනමි, පාවුලු ද දනිමි, එහෙත් ඔබ කවුරු දැ”යි ඔවුනට කීවේ ය.</verse>
				<verse number="16">අශුද්ධාත්මය වැහී සිටි මිනිසා ඔවුන් වෙතට පැන සියලු දෙනා ම දමනය කොට අඩන්තේට්ටම් කෙළේ ය. ඔව්හු තුවාළ වී, නග්න ව, ඒ ගෙයින් පලා ගියහ.</verse>
				<verse number="17">මෙය එපීසයෙහි විසූ සියලු ජුදෙව්වරුනට ද ග්‍රීකයනට ද සැළ විය. ඔව්හු බොහෝ සේ බියපත් වූ හ. ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයට ද ගෞරවය ඇති විය.</verse>
				<verse number="18">අදහාගත්තවුන්ගෙන් බොහෝ දෙනෙක් අවුත් තමන් ද මන්ත්‍රගුරුකම්වල යෙදී සිටි බව ප්‍රකාශ කළහ.</verse>
				<verse number="19">යන්ත්‍ර මන්ත්‍ර අභ්‍යාස කළ බොහෝ දෙනෙක් ද, තමන්ගේ පොත් එක් කොට ගෙනැවිත් සියල්ලන් ඉදිරියෙහි පුළුස්සාදැමූ හ. ඒවායේ මිල ගණන් බලා, රිදී මිල පණස් දහසක් බව දැන ගන්නා ලදී.</verse>
				<verse number="20">මෙසේ සමිඳාණන් වහන්සේගේ වචනය බලවත් සේ වැඩී පැතිරී ගියේ ය.</verse>
				<verse number="21">මේ සියල්ල නිම වූ කල, පාවුලු කතා කරමින්, “මා ජෙරුසලමට ගිය පසු, රෝමය ද දකින්න ඕනෑ ය” කියා, මසිදෝනිය සහ ග්‍රීසිය මැදින් ගොස්, ජෙරුසලමට යන්නට අධිෂ්ඨාන කරගත්තේ ය.</verse>
				<verse number="22">ඔහු තමාට සේවය කළ අයගෙන් දෙදෙනෙකු වන තිමෝතියස් ද එරස්තස් ද මසිදෝනියට යවා තමා ම කලක් ආසියාවෙහි නැවතී සිටියේ ය.</verse>
				<verse number="23">ඒ කාලයේ මේ ධර්ම මාර්ගය ගැන මහත් කැළඹීමක් හටගත්තේ ය.</verse>
				<verse number="24">මන්ද, අර්තෙමිස්ගේ දේවාලයයේ රිදී රූප සාදන දෙමෙත්‍රියස් නම් රිදී කලාකරුවෙක් කර්මාන්තකාරයන්ට බොහෝ ලාභ උපදවා දුන්නේ ය.</verse>
				<verse number="25">ඔහු, ඔවුන් ද එබඳු වූ වෙනත් කම්කරුවන් ද රැස් කරවා “භවතුනි, අපට වස්තුව ලැබෙන්නේ මේ කර්මාන්තයෙන් බව ඔබ දන්නහු ය.</verse>
				<verse number="26">මේ පාවුලු වනාහි ‘අත්වලින් සැදූ දෙවිවරු, දෙවිවරු නොවෙති’යි කියමින් එපීසයේ පමණක් නොව මුළු ආසියාවේ හැම තැන ම පාහේ බොහෝ සෙනඟට උගන්වා ඔවුන් හරවා ගත් බව ඔබට දකින්නට ද අසන්නට ද ලැබී ඇත.</verse>
				<verse number="27">ඒ නිසා අපේ මේ කර්මාන්තය අපකීර්තියට පත් විය හැකි ය. එපමණක් නොව, මුළු ආසියාවත් ලෝකයත් නමස්කාර කරන උත්තරීතර දේවතාවිය වූ අර්තෙමිස්ගේ දේවාලය අභාවයට පත් වීමට ද ඇගේ අභිමානය පවා නැති වී යාමට ද ඉඩ තිබේ ය”යි කී ය.</verse>
				<verse number="28">ඔව්හු ඒ අසා කෝපයෙන් පිරී, “එපීසයන්ගේ අර්තෙමිස් අති උසස් ය”යි කියමින් මොරගැසූ හ.</verse>
				<verse number="29">එවිට මුළු නුවර කැළඹිණ. ඔව්හු, පාවුලු සමඟ ගමන් කළ ගායස් ද අරිස්තාර්කස් ද යන මසිදෝනිවරුන් දෙදෙනා අල්ලා ගෙන නෘත්‍ය ශාලාවට වේගයෙන් දිවූ හ.</verse>
				<verse number="30">පාවුලු සෙනඟ මැදට යන්නට සිතූ නමුත් ශ්‍රාවකයෝ ඔහුට ඉඩ නුදුන්හ.</verse>
				<verse number="31">ඔහු සමඟ මිත්‍ර ව සිටි ආසියාතික අධිපතීන්ගෙන් සමහරෙක් ද, නෘත්‍ය ශාලාවට කොයි ආකාරයකින් වත් ඇතුළු නොවන සේ ඉල්ලමින් කන්නලව් කළහ.</verse>
				<verse number="32">සභාව වියවුල් වූ බැවින්, සමහරෙක් එකක් ද, අන් සමහරෙක් තවත් එකක් ද කියමින් මොරගැසූ හ. ඔවුන්ගෙන් වැඩි කොටස තමන් රැස්වුණේ කුමන කරුණක් නිසා දැ යි නොදත්හ.</verse>
				<verse number="33">ජුදෙව්වරුන් විසින් අලෙක්සන්දර් ඉදිරිපත් කරනු ලැබූ බැවින්, සමූහයාගෙන් සමහරෙක්, වගකිවයුත්තා ඔහු යයි නිගමනය කළහ. අලෙක්සන්දර් අතින් සංඥා කොට, සමූහයාට පිළිතුරු දෙන්නට කැමැත්ත දැක්වී ය.</verse>
				<verse number="34">එහෙත් ඔහු ජුදෙව්වරයෙකු බව දැනගත් විට: “එපීසයන්ගේ අර්තෙමිස් අතිඋතුම් ය”යි කියමින් දෙපැයක් පමණ ඔව්හු සියල්ලෝ ම එක හඬින් මොරගැසූ හ.</verse>
				<verse number="35">නගර සභා ලේකම් තැන සමූහයා සන්සිඳුවා, “එපීසයේ මනුෂ්‍යයිනි, එපීසවරුන්ගේ නුවර වනාහි ශ්‍රේෂ්ඨ අර්තෙමිස්ගේ මාලිගාවේ ද ස්වර්ගයෙන් පතිත වූ රූපයේ ද රැකවලී බව නොදන්නා මනුෂ්‍යයා කවරෙක් ද?</verse>
				<verse number="36">මෙසේ මේ දේවලට විරුද්ධ ව යමක් කියන්නට කවරෙකුට වත් බැරි හෙයින් ඔබ ඉක්මන් වී සැහැසිකමක් නොකළ යුතු ය.</verse>
				<verse number="37">මන්ද ඔබ මෙහි ගෙනා මේ මනුෂ්‍යයෝ දේවාලවලින් සොරකම් කරන්නෝ වත්, මේ දේවතාවියට අපහාස කරන්නෝ වත් නොවෙති.</verse>
				<verse number="38">එසේ හෙයින්, යමෙකුට විරුද්ධ ව දෙමෙත්‍රියස්ගේ ද ඔහු සමඟ සිටින කර්මාන්තකාරයන්ගේ ද පැමිණිල්ලක් ඇත් නම්, නඩු දවස් තිබේ, අධිපතියෝ ද සිටිති. ඔව්හු එකිනෙකාට විරුද්ධ ව පැමිණිලි කරත් වා.</verse>
				<verse number="39">එහෙත්, ඔබ එයට වැඩි යමක් සොයන්නහු නම්, එය නීත්‍යනුකූල සභාවේ දී තීරණය කරනු ලැබේ.</verse>
				<verse number="40">මන්ද අපට මේ කලබලයට යුක්තිසහගත හේතුවක් ඉදිරිපත් කළ නොහැකි බැවින්, අද ඇති වූ මේ කෝලාහලය ගැන අපට විරුද්ධ ව චෝදනාවක් ඉදිරිපත් වෙන්නට ඉඩ තිබේ”යයි කී ය.</verse>
				<verse number="41">ඔහු මෙසේ කියා සභාව විසුරුවා හැරියේ ය.</verse>
			</chapter>
			<chapter number="20">
				<verse number="1">කෝලාහලය සංසිඳුන පසු පාවුලු ශ්‍රාවකයන් කැඳවා ඔවුන් ධෛර්යවත් කොට, ඔවුන්ගෙන් සමුගෙන මසිදෝනිය බලා නික්ම ගියේ ය.</verse>
				<verse number="2">ඔහු ඒ පළාත් මැදින් ගොස්, ඔවුන් බොහෝ සේ ධෛර්යවත් කොට, ග්‍රීසියට පැමිණියේ ය.</verse>
				<verse number="3">ඔහු එහි තුන් මසක් ගත කොට, නැවෙන් සිරියාවට යන්නට සූදානම් ව සිටිය දී, ඔහුට විරුද්ධ ව ජුදෙව්වරුන් විසින් කූට උපායයක් යොදන ලදී. එහෙයින් මසිදෝනිය ඔස්සේ හැරී යන්නට ඔහු නියම කරගත්තේ ය.</verse>
				<verse number="4">පුරස්ගේ පුත්‍ර වූ බෙරියාවේ සෝපතර් ද තෙසලෝනිකවරුන්ගෙන් අරිස්තාර්කස් සහ සෙකුන්දස් ද දර්බයේ ගායස් ද තිමෝතියස් ද ආසියාවේ තුකිකස් සහ ත්‍රොපිමස් ද ඔහු සමඟ ආසියාව දක්වා ගියහ.</verse>
				<verse number="5">මොවුහු පෙරටුව ගොස්, අප එන තෙක් ත්‍රෝවසයේ බලා සිටියහ.</verse>
				<verse number="6">නුමුහුන් රොටි මංගල්‍ය දවස්වලට පසු අපි පිලිප්පියෙන් නැව් නැඟී, පස් දවසකින් ත්‍රෝවසයෙහි සිටි ඔවුන් වෙතට ගොස්, එහි සත් දවසක් නැවතී සිටියෙමු.</verse>
				<verse number="7">සතියේ පළමු වැනි දා අප රොටි කඩන්නට රැස් වූ කල, පාවුලු පසුවදා යන්නට අදහස් කළ බැවින්, මැදියම් රැය දක්වා, ඔහු ඔවුන්ට අනුශාසනා කෙළේ ය;</verse>
				<verse number="8">අප රැස් ව සිටි උඩු මහලේ බොහෝ පහන් දල්වා තිබිණි.</verse>
				<verse number="9">යුතිකස් නම් එක් තරුණයෙක් නිදි කිරා වැටෙමින් කවුළුව උඩ උන්නේ ය; පාවුලු දිගින් දිගට අනුශාසනා කරද්දී යුතිකස් බර නින්ද නිසා තුන්වැනි මහලින් පහළට වැටිණි. ඔහු ඔසවා ගත් කල මැරී සිටියේ ය.</verse>
				<verse number="10">එවිට පාවුලු බැස, ඔහු පිට වැටී, ඔහු වැළඳ ගෙන: “කරදර නොවන්න, මොහුට තව ම පණ තිබේ ය”යි කී ය.</verse>
				<verse number="11">ඔහු නැවත උඩුමහලට ගොස්, රොටි කඩා වළඳා, ඔවුන් සමඟ පහන් වන තුරු බොහෝ වේලාවක් කතා කර, පසුව පිටත් ව ගියේ ය.</verse>
				<verse number="12">ඔව්හු ඒ තරුණයා පණපිටින් කැඳවා ගෙන ගොස්, බොහෝ සේ සැනසුණාහ.</verse>
				<verse number="13">අපි අසොස්හි දී පාවුලු නැවට කැඳවාගන්නට අදහස් කර, පෙරටුව ගොස්, නැව් නැඟී, එහි ගියෙමු. මන්ද, පාවුලු ගොඩින් යන්නට අදහස් කළෙන් එසේ යාමට අපට නියම කර තිබුණි.</verse>
				<verse number="14">අසොස්හි දී අපට ඔහු හමු වූයෙන්, අපි ඔහු නැවට නංවා ගෙන මිතුලේනට පැමිණියෙමු.</verse>
				<verse number="15">අපි එතැනින් යාත්‍රා කොට, පසුවදා කියොසය ඉදිරියට පැමිණ, ඊට පසුවදා සාමොසයට ළඟා වී, ඊළඟ දවසේ මිලේතසට පැමිණියෙමු.</verse>
				<verse number="16">ආසියාවෙහි කල් ගත කරන්නට සිදු නොවන පිණිස, එපීසය පසු කර යන්නට ඔහු තීරණය කරගෙන සිටියේ ය. එසේ කෙළේ, හැකි නම් පෙන්තකොස්ත දවසේ ජෙරුසලමේ සිටින්නට පාවුලු ඉක්මන් කළ බැවිනි.</verse>
				<verse number="17">ඔහු මිලේතසෙන් එපීසයට පණිවුඩ යවා, සභාවේ මූලිකයන් කැඳෙව්වේ ය.</verse>
				<verse number="18">ඔවුන් තමා වෙතට ආ කල ඔහු මෙසේ පැවසී ය, “මා ආසියාවට පැමිණි පළමු වැනි දා පටන් මුළු කාලය ඔබ සමඟ ගත කළ සැටි ඔබ දන්නහු ය.</verse>
				<verse number="19">මම සියලු ආකාර යටහත්පහත්කමින් ද ශෝකයෙන් ද ජුදෙව්වරුන්ගේ උපායයන් නිසා පැමිණි දුෂ්කරතාවලින් ද යුක්ත ව සමිඳාණන් වහන්සේට සේවය කෙළෙමි.</verse>
				<verse number="20">ඔබට වැඩදායක වූ කිසිවක් කීමෙන් නොවැළකී, ප්‍රසිද්ධියේ ද ගෙයින් ගෙට යමින් ද ඔබට උගන්වමින්,</verse>
				<verse number="21">පසුතැවී සිත් හරවා ගැනීමෙන් දෙවියන් වහන්සේ වෙත හැරෙන ලෙසත්, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන ලෙසත් ජුදෙව්වරුන්ට හා අන්‍ය ජාතිකයන්ට ද තදින් අනුශාසනා කෙළෙමි.</verse>
				<verse number="22">දැන් ඉතින් ආත්මයාණන් විසින් බලපානා ලදුව, මම ජෙරුසලමට යමි; එහි දී මට කුමකින් කුමක් වේ දැ යි නොදනිමි.</verse>
				<verse number="23">එහෙත් සිරගත වීම් හා පීඩා ද මට පැමිණේ යයි, ශුද්ධාත්මයාණන් වහන්සේ සියලු නගරවල දී දැනුම් දුන් බව හැර අන් කිසිවක් නොදනිමි.</verse>
				<verse number="24">එහෙත් මාගේ ජීවිතය වැදගත් ය, නොහොත් මට ම අගේ ය කියා මම කිසිසේත් නොසලකමි. එහෙත් මාගේ පරමාර්ථය වූකලී දෙවියන් වහන්සේගේ කරුණාවේ සුබ අස්නට සාක්ෂි දීමෙන් ස්වාමීන් වන ජේසුස් වහන්සේගෙන් මට පැවරුණ දූත මෙහෙය සපුරා ලීම ය.</verse>
				<verse number="25">“මේ වන තෙක් මම දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන දේශනා කරමින් ඔබ අතර ගැවසුණෙමි. දැන් ඉතින් මින්පසු ඔබගෙන් කිසිවෙකු මගේ මුහුණ තවත් නොදකින බව දනිමි.</verse>
				<verse number="26">එහෙයින් ඔබ අතරෙන් කිසිවෙකු විනාශයට පත් වුවහොත්, ඒ ගැන මා වගකිවයුත්තකු නොවන බව තරයේ ප්‍රකාශ කරමි.</verse>
				<verse number="27">මන්ද, දෙවියන් වහන්සේගේ මුළු අභිප්‍රාය නොවළහා ඔබට ප්‍රකාශ කෙළෙමි.</verse>
				<verse number="28">ඔබ තමන් ම ද, ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් ගබඩාකාරයෙක් ලෙස පත් කරනු ලැබ ඔබට භාර දී ඇති රැළ ද රැකබලාගන්න. දෙවියන් වහන්සේ සිය පුත්‍රයාණන්ගේ යාගික රුධිරය හේතුවෙන් දිනා ගත් උන් වහන්සේගේ සභාවේ නායකයන් වන්න.</verse>
				<verse number="29">මා ගියායින් පසු, රැළට අනුකම්පා නොකරන, රෞද්‍ර වෘකයන් ඔබ අතරට පැමිණෙන බව දනිමි.</verse>
				<verse number="30">ඔබ අතරෙන් සමහරුන් ඉදිරිපත් ව, තමන් අනුව යන්නට ශ්‍රාවකයන් ඇදගන්නා පිණිස දුර්මත පළ කරනු ඇත.</verse>
				<verse number="31">එබැවින් මා අවුරුදු තුනක් තිස්සේ දිවා රෑ දෙකේ කඳුළු හෙළමින් සියලු දෙනාට නිතර ම අවවාද කළ බව සිහි කර අවදිව සිටින්න.</verse>
				<verse number="32">“දැන් මම දෙවියන් වහන්සේටත් උන් වහන්සේගේ වරප්‍රසාදදායක පණිවුඩයටත් ඔබ භාර කරමි. ඔබ වැඩි වර්ධනය කිරීමටත්, කැප වූ සියලු අය සමඟ ඔබට උරුමය සාදා දීමටත් ඒ පණිවුඩයට හැකි ය.</verse>
				<verse number="33">මම කාගේ වත් රන් රිදීයට හෝ ඇඳුම් පැළඳුම්වලට හෝ ආශාවක් නොදැක්වීමි.</verse>
				<verse number="34">මාගේත් මා සමඟ සිටි අයගේත් අවශ්‍යතා පිරිමසාගැනීමට මේ දෑතින් මා වැඩ කළ හැටි ඔබ ම දන්නහු ය.</verse>
				<verse number="35">‘ලැබීමට වඩා දීම භාග්‍යවන්ත යැ’යි ස්වාමීන් වන ජේසුස් වහන්සේ ම වදාළ වචන සිහි කර, දුබලයන්ට උපකාර කළ යුතු බව මෙසේ වැඩ කිරීමෙන් මම ඔබට පෙන්වා දුනිමි.”</verse>
				<verse number="36">ඔහු මෙසේ කියා ඔවුන් සියල්ලන් සමඟ දණින් වැටී යාච්ඤා කෙළේ ය.</verse>
				<verse number="37">ඔවුන් සියලු දෙනා හඬමින් පාවුලුගේ ගෙල වැළඳ ගෙන සාදරයෙන් සිඹ ගත්තෝ ය.</verse>
				<verse number="38">අනෙක් හැම දේට ම වඩා, තමාගේ මුහුණ යළිත් ඔවුන් නොදකිති යි ඔහු කී වචන ගැන, ඔව්හු ශෝක වූ හ. ඉන්පසු ඔව්හු ඔහු සමඟ නැව කරා ගියහ.</verse>
			</chapter>
			<chapter number="21">
				<verse number="1">අපි ඔවුන්ගෙන් වෙන් ව නැව් නැඟී කෙළින් ම ගොස්, කෝස්ට ද පසුවදා රෝදස්ට ද එතැනින් පතාරාට ද ආවෙමු.</verse>
				<verse number="2">එහි දී පිනීසියා ව බලා යන නැවක් සම්බ වී එහි නැඟී පිටත් වුණෙමු.</verse>
				<verse number="3">සයිප්‍රසය පෙනෙන තෙක් මානයට ආවායින් පසු, ඉන් දකුණු දෙසට යාත්‍රා කොට සිරියාවට පැමිණ, තීර්හි දී ගොඩ බැස්සෙමු. මන්ද, එහි බඩු ගොඩබාන්නට තිබුණේ ය.</verse>
				<verse number="4">අපි එහි දී ශ්‍රාවකයන් සොයාගෙන සත් දවසක් නැවතී සිටියෙමු. ජෙරුසලමට නොයන ලෙස ඔව්හු ආත්මයාණන් වහන්සේගෙන් අවවාද ලැබ, පාවුලුට එපවත් කී හ.</verse>
				<verse number="5">එහෙත් ඒ දවස් ගත වූ පසු අපි පිටත් ව අපේ ගමන ගියෙමු. අප නුවරින් පිට වන තුරු ඔව්හු සියලු දෙනා ම තමන්ගේ භාර්යාවන් හා දරුවන් ද සමඟ අප කැටුව ආහ. අපි වෙරළෙහි දණින් වැටී යාච්ඤා කර,</verse>
				<verse number="6">එකිනෙකාට සුබපතා, නැව් නැඟුණෙමු. ඔව්හු තම නිවෙස් කරා හැරී ගියහ.</verse>
				<verse number="7">අපි තීර් සිට පිටත් ව ගොස් අපේ මුහුදු ගමන නිම කොට, තොලිමයිසයට පැමිණියෙමු. එහි දී සහෝදරයන්ට ආචාර කොට ඔවුන් සමඟ දවසක් නැවතී සිටියෙමු.</verse>
				<verse number="8">පසුදා අපි පිටත් ව කායිසාරියට අවුත්, සත් දෙනාගෙන් එක් කෙනෙකු වූ ධර්මදූත පිලිප්ගේ ගෙට පැමිණ, ඔහු සමඟ නැවතී සිටියෙමු.</verse>
				<verse number="9">දිවැස් වැකි කීමේ වරය ලත්, කන්‍යා දූවරු සතර දෙනෙක් ඔහුට සිටියෝ ය.</verse>
				<verse number="10">බොහෝ දවස් අප එහි නැවතුණ අතර, අගබස් නම් එක් දිවැසිවරයෙක් ජුදයෙන් අප වෙත පැමිණියේ ය.</verse>
				<verse number="11">ඔහු පාවුලුගේ ඉඟපටිය රැගෙන එයින් තමාගේ ම අත් පා බැඳ ගෙන, “ජුදෙව්වරුන් මේ ඉඟපටිය අයිති මිනිසා ජෙරුසලමේ දී මේ ආකාරයෙන් බැඳ විජාතීන්ගේ අත්වලට පාවා දෙති යි ශුද්ධාත්මයාණන් වහන්සේ කියන සේකැ”යි පැවසී ය.</verse>
				<verse number="12">අප මේ දේ ඇසූ කල, ඒ ස්ථානයේ සිටි අය ද අපි ද ජෙරුසලමට නොයන ලෙස ඔහුගෙන් උදක් ම ඉල්ලීමු.</verse>
				<verse number="13">එවිට පාවුලු උත්තර දෙමින්, “ඔබ කුමක් කරන්නහු ද? හැඬීමෙන් මාගේ අධිෂ්ඨානය දුර්වල කරන්නේ මන් ද? මම ජෙරුසලමේ දී ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමය නිසා හිරගෙට පමණක් නොව මැරෙන්නට වුවත් සූදානම් ව සිටිමි”යි කී ය.</verse>
				<verse number="14">ඔහු කැමැති කරවාගන්නට නොහැකි වූයෙන්, “සමිඳාණන් වහන්සේගේ කැමැත්ත වේ වා!”යි කියමින් අපි නිහඬ වීමු.</verse>
				<verse number="15">ටික දවසකට පසු අපි බඩුබාහිරාදිය රැගෙන ජෙරුසලම බලා ගියෙමු.</verse>
				<verse number="16">කායිසාරියේ ශ්‍රාවකයන්ගෙන් සමහරෙක් අප සමඟ අවුත් බොහෝ කලෙක පටන් ශ්‍රාවකයෙකු ව සිටි සයිප්‍රසයේ මීනාසොන් නම් කෙනෙකු වෙත නවාතැන් ගන්නට අප කැඳවාගෙන ගියහ.</verse>
				<verse number="17">අප ජෙරුසලමට පැමිණි කල සහෝදරයෝ ප්‍රීතියෙන් අප පිළිගත්හ.</verse>
				<verse number="18">පසුවදා පාවුලු අප සමඟ ජාකොබ් හමු වීමට ගියේ ය. සභා මූලිකයෝ සියලු දෙනා ම එහි සිටියහ.</verse>
				<verse number="19">ඔහු ඔවුන්ට ආචාර කොට, තමාගේ සේවය මඟින් දෙවියන් වහන්සේ විජාතීන් අතර සිදු කළ දේ ගැන සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කෙළේ ය.</verse>
				<verse number="20">ඔව්හු ඒ අසා දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ. තවද ඔව්හු ඔහුට කතා කොට, “සහෝදරය, ජුදෙව්වරුන් අතර, අදහාගත්තවුන් කොපමණ දහස් ගණනක් ඇද්දැ යි ඔබ දන්නෙහි ය. ඔව්හු සියල්ලෝ ම ව්‍යවස්ථාවලිය ගැන දැඩි භක්තියක් දක්වන අය වෙති.</verse>
				<verse number="21">තමන්ගේ දරුවන් චර්මඡේදනය නොකරන්නටත්, ජුදෙව් වත්පිළිවෙත් නොපවත්වන්නටත් උගන්වමින් මෝසෙස්ට පිටුපා යන්නට විජාතීන් අතර සිටින ජුදෙව්වරුන්ට ඔබ උපෙදස් දෙන බව ඔවුන්ට සැළ වී තිබේ.</verse>
				<verse number="22">දැන් ඉතින් කළ යුතු දේ කුමක් ද? ඔබ මෙහි ඇවිත් සිටින බව ඔවුන් නිසැකව ම දැනගනු ඇත.</verse>
				<verse number="23">එබැවින් අප කියන දේ කරන්න. අප අතර බාරයක් වූ මනුෂ්‍යයෝ සතර දෙනෙක් සිටිති.</verse>
				<verse number="24">ඔබ ද ඔවුන් හා එකතු වී පවිත්‍ර වීමේ පිළිවෙත පවත්වන්න. ඔවුන්ගේ හිස් මුඩු කිරීම සඳහා යන වියහියදම් ඔබ ම දරන්න. එසේ කළ විට ඔබ ගැන ඔවුනට සැළ වූ කාරණාවලින් එකක් වත් සැබෑ නොවන බවත්, ඔබ ව්‍යවස්ථාවලිය අනුව ජීවත් වන බවත් සියල්ලන් ම දැනගනු ඇත.</verse>
				<verse number="25">එහෙත් ඇදහිල්ල පිළිගත් විජාතීන් ගැන නම්, ඔවුන් රූපවලට පුදන ලද දෙයින් ද ලෙයින් ද බොටුව මිරිකා මැරූ සතුන්ගේ මස් කෑමෙන් ද වේශ්‍යාකමින් ද වැළකී සිටින ලෙස අපි ම තීරණය කර ඔවුන්ට ලියා හැරියෙමු”යි කී හ.</verse>
				<verse number="26">පසුවදා පාවුලු ඒ මනුෂ්‍යයන් හා එක් වී, ඔවුන් හා සමඟ පවිත්‍ර වීමේ පිළිවෙත පැවැත්විය. ඉන්පසු පාවුලු පවිත්‍ර වීම අවසාන වන කාලය ද ඔවුන් එකිනෙකා උදෙසා ඔප්පු කළ යුතු පූජාව ද දැනුම් දෙන පිණිස දේව මාලිගාවට ඇතුළු විය.</verse>
				<verse number="27">ඒ දවස් සත සම්පූර්ණ වෙත් ම, ආසියාවෙන් පැමිණි ජුදෙව්වරු දේව මාලිගාවේ දී පාවුලු දැක, මුළු ජනකාය කළඹා, ඔහු අල්ලා ගෙන,</verse>
				<verse number="28">“ඉශ්රායෙල් ජනයෙනි, උදව් දෙන්න. අපේ ජනතාවටත්, අපේ ව්‍යවස්ථාවලියටත්, මේ ස්ථානයටත් විරෝධී ව හැම තැන ම, හැම අයට ම උගන්වන මිනිසා මොහු ය. ඒ විතරක් නොවේ, මොහු ග්‍රීකයන් ද දේව මාලිගාවට කැඳවා ගෙන අවුත් මේ ශුද්ධස්ථානය කෙලෙසා ඇතැ”යි මොරගසා කී හ.</verse>
				<verse number="29">ඔවුන් මෙසේ කීවේ එපීසයෙකු වූ ත්‍රොපිමස් ඔහු සමඟ නුවර සිටිනු ඔවුන් කලින් දැක තිබුණු නිසා, පාවුලු ඔහු දේව මාලිගාවට කැඳවා ගෙන යන්නට ඇතැ යි සිතූ බැවිනි.</verse>
				<verse number="30">එවිට මුළු නුවර කැළඹිණි; ජනකාය එකාවන් ව දිව අවුත්, පාවුලු අල්ලා ගෙන දේව මාලිගාවෙන් පිටතට ඇදදැමූ හ. එකෙණෙහි ම දොරවල් වසා දමන ලදී.</verse>
				<verse number="31">ඔවුන් ඔහු මරන්නට අදහස් කරගෙන සිටින අතර මුළු ජෙරුසලම කැලඹී ඇතැ යි සේනාධිපතියාට දන්වන ලදී.</verse>
				<verse number="32">ඔහු එකෙණෙහි ම හේවායන් ද ශතාධිපතියන් ද කැඳවා ගෙන ඔවුන් වෙතට දිවී ය. ඔව්හු සේනාධිපතියා හා හේවායන් දැක, පාවුලුට තැළීම නතර කළහ.</verse>
				<verse number="33">එවිට සේනාධිපතියා ළං වී ඔහු අල්ලා, දම්වැල් දෙකකින් බඳින්නට අණ කොට, “මොහු කවරෙක් ද? කුමක් කෙළේ දැ”යි විචාළේ ය.</verse>
				<verse number="34">එවිට සමූහයා අතර සමහරෙක් එකක් ද තවත් සමහරෙක් අනෙකක් ද මොරගසා කී හ. මේ කෝලාහලය නිසා ඇත්ත නැත්ත දැනගන්නට ඔහුට බැරි වූයෙන්, පාවුලු බලකොටුවට ගෙන යන්නට ඔහු අණ කෙළේ ය.</verse>
				<verse number="35">පාවුලු එහි තිබුණු පඩි පෙළ උඩට පැමිණි කල, සමූහයාගේ බලහත්කාරකම නිසා හේවායන්ට ඔහු උසුලා ගෙන යන්නට සිදු විය.</verse>
				<verse number="36">මන්ද, “මොහු මරාදමන්නැ”යි මොරගසමින් ජනකාය ඔවුන් පස්සෙන් ගියහ.</verse>
				<verse number="37">පාවුලු බලකොටුව ඇතුළට ගෙනයනු ලබද්දී, “ඔබට වචනයක් කීමට අවසර ඇද්දැ”යි ඔහු සේනාධිපතියාගෙන් ඇසී ය. එවිට සේනාධිපතියා “ඔබ ග්‍රීක් භාෂාව දන්නෙහි ද?</verse>
				<verse number="38">එසේ නම් මෑත දී කැරැල්ලක් ඇති කර, ත්‍රස්තවාදීන් සාරදහසක් වනයට ගෙන ගිය මිසර ජාතිකයා ඔබ නොවේ දැ”යි ඇසී ය.</verse>
				<verse number="39">එහෙත් පාවුලු පිළිතුරු දෙමින්, “මම නම් සත්කීර්තිමත් නුවරක් වන සිලිසියාවේ තාර්සස්හි ජුදෙව්වෙක්මි. සෙනඟ අමතා කතා කිරීමට අවසර දෙන ලෙස ඔබගෙන් ඉල්ලමි”යි කී ය.</verse>
				<verse number="40">ඔහු අවසර දුන් කල, පාවුලු පඩි පෙළ මත්තේ සිට සෙනඟට අතින් සංඥා කෙළේ ය. මහා නිශ්ශබ්දතාවයක් ඇති විය. ඔහු හෙබ්‍රෙව් භාෂාවෙන් ඔවුන් අමතා,</verse>
			</chapter>
			<chapter number="22">
				<verse number="1">“සහෝදරයෙනි, පියවරුනි, දැන් ඉතින් මාගේ නිදහසට මා කියන කරුණුවලට සවන් දෙන්නැ”යි කී ය.</verse>
				<verse number="2">ඔහු හෙබ්‍රෙව් භාෂාවෙන් කතා කරන බව ඔවුන්ට ඇසුණ විට ඔව්හු වඩාත් නිශ්ශබ්ද වූ හ. එවිට පාවුලු කතා කොට මෙසේ කී ය:</verse>
				<verse number="3">“මම සිලිසියාවේ තාර්සස්හි උපන් ජුදෙව්වෙක්මි, එහෙත් මේ නුවර ඇතිදැඩි වී, පියවරුන්ගේ ව්‍යවස්ථාවේ නියම පිළිවෙළේ හැටියට ගමාලියෙල්ගේ පාමුල ඉගෙනීම ලැබ, අද ඔබ සියල්ලන් සිටින්නාක් මෙන් මමත් දෙවියන් වහන්සේ ගැන බැති සිතින් සිටියෙමි;</verse>
				<verse number="4">මේ ධර්ම මාර්ගයට අයිති වූවනට මැරෙන තුරු පීඩා කෙළෙමි;</verse>
				<verse number="5">පුරුෂයන් ද ස්ත්‍රීන් ද අත්අඩංගුවට ගෙන හිරගෙවලට භාර දුනිමි. ඒ ගැන උත්තම පූජකයා ද මුළු මන්ත්‍රණ සභාව ද මට සාක්ෂි දරති. ඔවුන්ගෙන් ද දමස්කයේ ජුදෙව් සහෝදරයන්ට ලියුම් ලබාගෙන එහි සිටි අයටත් දඬුවම් කරන පිණිස ඔවුන් බැඳ ජෙරුසලමට ගෙනෙන්නට මම එහි ගියෙමි.”</verse>
				<verse number="6">“මා ගමන් කරමින් දමස්කයට ළං වූ කල, ඉර මුදුන් වේලාව පමණේ දී හදිසියෙන් අහසින් අතිදීප්තිමත් ආලෝකයක් මා වටකර බැබළිණි.</verse>
				<verse number="7">මම බිම වැටුණෙමි. එවිට, ‘සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්දැ’යි කියන හඬක් ඇසුණි.</verse>
				<verse number="8">මම ද ‘ස්වාමීනි, ඔබ කවරෙක් දැ’යි ඇසීමි. ‘මම නම් නුඹ පීඩා කරන නාසරෙත්හි ජේසුස් ය’යි උන් වහන්සේ මට වදාළ සේක.</verse>
				<verse number="9">මා සමඟ සිටි අය ආලෝකය දුටුවෝ ය. එහෙත් මට කතා කළ තැනැන් වහන්සේගේ හඬ ඔවුනට ඇසුණේ නැත.</verse>
				<verse number="10">‘ස්වාමීනි, මම කුමක් කරම් දැ’යි මම ඇසීමි. සමිඳාණන් වහන්සේ මට කතා කොට, ‘නැඟිට දමස්කයට යන්න; දෙවියන් වහන්සේ නියම කර ඇති අන්දමට ඔබ කළ යුතු සියල්ල ඔබට එහි දී දන්වනු ලැබේ ය’යි වදාළ සේක.</verse>
				<verse number="11">ඒ ආලෝකයේ උද්දීප්තිය නිසා මාගේ ඇස් නොපෙනී ගියේ ය. එබැවින් මාගේ සහචරයෝ මා අතින් අල්ලා ගෙන දමස්කයට ගෙන ගියහ.</verse>
				<verse number="12">“ව්‍යවස්ථාවලිය මනා සේ පිළිපැද්ද, එසේ ම එහි වසන සියලු ජුදෙව්වරුන්ගේ ප්‍රසාදය දිනා ගත් අනනියස් නම් මනුෂ්‍යයෙක් මා වෙත අවුත්,</verse>
				<verse number="13">‘සහෝදර සාවුල්, පෙනීම ලබන්නැ’යි මට කී ය. මම ද එවේලේ ම පෙනීම ලැබ ඔහු දෙස බැලීමි.</verse>
				<verse number="14">ඔහු කතා කොට, ‘අපේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ කැමැත්ත දැනගන්නටත්, ධර්මිෂ්ඨයාණන් දකින්නටත්, උන් වහන්සේගේ මුඛයෙන් වචනය අසන්නටත් ඔබ තෝරා ගත් සේක.</verse>
				<verse number="15">මන්ද, ඔබ ඇසූ දුටු දේ ගැන සියලු මනුෂ්‍යයන්ට ඔබ උන් වහන්සේගේ සාක්ෂිකාරයෙක් වන්නෙහි ය.</verse>
				<verse number="16">ඉදින් පමා වන්නේ මන් ද? නැඟිට උන් වහන්සේගේ නාමයෙන් යාච්ඤා කරමින්, බව්තීස්ම-ස්නාපනය ලැබ, ඔබේ පව් සෝදා හරින්නැ’යි කී ය.”</verse>
				<verse number="17">“තවද මම ජෙරුසලමට හැරී අවුත් දේව මාලිගාවේ දී ධ්‍යානශීලී ව යාච්ඤා කරමින් සිටිය දී දර්ශනයක් දුටිමි.</verse>
				<verse number="18">උන් වහන්සේ මට දර්ශනය වී: ‘මා ගැන ඔබේ සාක්ෂිය ඔවුන් නොපිළිගන්නා බැවින් පමා නොවී ජෙරුසලමෙන් යන්නැ’යි මට වදාළ සේක.</verse>
				<verse number="19">එකල මම කතා කොට, ‘ස්වාමීනි, මා ධර්මශාලාවලට ගොස් ඔබ අදහාගත්තවුන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට තැළූ බව කවුරුත් දනිති.</verse>
				<verse number="20">ඔබගේ සාක්ෂිකාර වූ ස්තේපන් මරනු ලැබූ කල, මමත් ළඟ සිට, එය අනුමත කරමින් ඔහු මැරූවන්ගේ වස්ත්‍ර බලාගත්තෙමි’යි කීවෙමි.</verse>
				<verse number="21">එවිට උන් වහන්සේ මට කතා කොට, ‘යන්න, මම ඔබ බොහෝ ඈත, විජාතීන් වෙත යවන්නෙමි’යි වදාළ සේකැ”යි පැවසී ය.</verse>
				<verse number="22">ඔහු මෙය කියන තෙක් ඔව්හු සවන් දුන්හ; ඉන්පසු ඔව්හු “මෙවැන්නෙකු නැත්තට ම නැති කරන්න! මොහු ජීවත් විය යුතු නැතැ”යි මොරගැසූ හ.</verse>
				<verse number="23">ඔව්හු කෑගසමින්, තමන්ගේ උතුරු සළු ගලවා උඩ වීසි කරමින් ධූලි ඉහළට දමමින් සිටියෝ ය.</verse>
				<verse number="24">එබැවින් සේනාධිපතියා ඔහු බලකොටුවට ගෙන යන්නට අණ කොට, කුමන කාරණයක් නිසා ඔව්හු ඔහුට විරුද්ධ ව එසේ මොරගැසුවෝ දැ යි දැන ගන්නා පිණිස, ඔහුට කසයෙන් තළා විභාග කරන්නට නියම කෙළේ ය.</verse>
				<verse number="25">එහෙත් කසයෙන් තැළීම සඳහා ඔවුන් ඔහු බැන්ද විට පාවුලු කතා කොට, “රෝම පුරවැසියෙකු විනිශ්චය නොකොට ඔහුට කසයෙන් තළවන්නට ඔබට නීතියෙන් බලයක් තිබේ දැ”යි ළඟ සිටි ශතාධිපතියාට කී ය.</verse>
				<verse number="26">ශතාධිපතියා ඒ අසා, සේනාධිපතියා ළඟට ගොස්, “ඔබ කුමක් කරන්නට යන්නෙහි ද? මේ මනුෂ්‍යයා රෝම පුරවැසියෙකැ”යි කී ය.</verse>
				<verse number="27">එවිට සේනාධිපතියා අවුත්, “ඔබ රෝම පුරවැසියෙක් දැ”යි ඔහුගෙන් ඇසී ය. “එසේ ය”යි පාවුලු කී ය.</verse>
				<verse number="28">සේනාධිපතියා, “මම බොහෝ මිල දී මේ පුරවැසිකම ලබා ගතිමි”යි කී ය. පාවුලු ද “මම උත්පත්තියෙන් ම රෝම පුරවැසියෙක්මි”යි කී ය.</verse>
				<verse number="29">ඔහු විභාග කරන්නට සිටි අය එවේලේ ම ඔහු වෙතින් අහක් ව ගියහ. පාවුලු රෝම පුරවැසියකු බව දැන ගත් කල සේනාධිපතියා ඔහු බැඳ තැබීම ගැන බියට පත් විය.</verse>
				<verse number="30">පසුවදා ජුදෙව්වරුන් කුමන කාරණයක් ගැන පාවුලුට වරද තබත් දැ යි හරියාකාර දැනගන්න සේනාධිපතියා කැමැති විය. එබැවින් ඔහු පාවුලු මුදා, නායක පූජකයන් සහ මුළු මන්ත්‍රණ සභාව රැස් කරවා ඔවුන් ඉදිරියට කැඳෙව්වේ ය.</verse>
			</chapter>
			<chapter number="23">
				<verse number="1">පාවුලු ඉතා ඕනෑකමින් මන්ත්‍රණ සභාව දෙස නෙත් යොමා, “සහෝදරයෙනි, මම අද දක්වා දෙවියන් වහන්සේ ඉදිරියෙහි නිදොස් හෘදය සාක්ෂියක් ඇති ව හැසුරුණෙමි”යි කී ය.</verse>
				<verse number="2">එවිට උත්තම පූජක අනනියස් ඔහුගේ කටට ගසන ලෙස ළඟ සිටියවුනට අණ කෙළේ ය.</verse>
				<verse number="3">එවිට පාවුලු, “කෛරාටිකයෙකු වූ ඔබට දෙවියන් වහන්සේ පහර දෙනු ඇත. ව්‍යවස්ථාව අනුව මා විනිශ්චය කිරීමට වාඩි වී සිටින ඔබ ව්‍යවස්ථාවට විරුද්ධ ව මට පහර දෙන්නට අණ කරන්නෙහි දැ”යි ඇසී ය.</verse>
				<verse number="4">එවිට ළඟ සිටි අය, “ඔබ දෙවියන් වහන්සේගේ උත්තම පූජකයාට අපහාස කරන්නෙහි දැ”යි ඇසූ හ.</verse>
				<verse number="5">පාවුලු ද “සහෝදරවරුනි, ඔහු උත්තම පූජකයාණන් බව මම නොදැන සිටියෙමි. මන්ද, ‘ඔබේ සෙනඟගේ ප්‍රධානියා ගැන අපවාද නොකියන්නැ’යි ලියා තිබේ ය”යි කී ය.</verse>
				<verse number="6">සෙනඟගෙන් එක් කොටසක් සද්දුසිවරුන් ද අනෙක් කොටස පරිසිවරුන් ද බව පාවුලු දැක, මන්ත්‍රණ සභාවෙහි මොරගසා, “සහෝදරයෙනි, මම පරිසියෙක්මි, පරිසිවරුන්ගේ පුත්‍රයෙක්මි. මළවුන් උත්ථාන වීමේ බලාපොරොත්තුව ගැන මම විනිශ්චයාසනය ඉදිරියෙහි සිටිමි”යි කී ය.</verse>
				<verse number="7">ඔහු මෙසේ කී කෙණෙහි ම, පරිසිවරුන් හා සද්දුසිවරුන් අතර භේදයක් පැන නැඟුණි. රැස් ව සිටි අය දෙපිලකට බෙදුණාහ.</verse>
				<verse number="8">මන්ද, සද්දුසිවරු පුනරුජ්ජීවනයක් වත්, දේව දූතයන් වත්, ආත්මයක් වත් නැතැ යි කී නමුත් පරිසිවරු ඒ තුන ම ඇතැ යි කී හ.</verse>
				<verse number="9">එවිට කලබලය වඩාත් උග්‍ර විය. පරිසිවරුන්ගේ පක්ෂයේ විනයධරයන්ගෙන් සමහරෙක් නැඟිට තරයේ විරෝධය පාමින්: “මේ මිනිසා අත කිසි නපුරක් අපට නොපෙනේ. සමහර විට ආත්මයක් හෝ දේව දුතයෙක් හෝ ඔහුට කතා කරන්නට ඇතැ”යි කී හ.</verse>
				<verse number="10">එවිට භේදය වඩාත් වේගවත් විය. ඔවුන් පාවුලු කැබැලි කොට ඉරාදමනු ඇතැ යි සේනාධිපතියා බිය වී, හේවායන්ට කතා කොට, ඔවුන් වෙතින් ඔහු පැහැර ගෙන බලකොටුවට ගෙන යාමට අණ කෙළේ ය.</verse>
				<verse number="11">එදා රාත්‍රියේ සමිඳාණන් වහන්සේ පාවුලු ළඟ සිට, “ධෛර්යවත් වෙන්න ඔබ ජෙරුසලමේ දී මා ගැන සාක්ෂි දුන් සේ ම, රෝමයේ දීත් සාක්ෂි දිය යුතු ය”යි වදාළ සේක.</verse>
				<verse number="12">පහන් වූ කල ජුදෙව්වරු කුමන්ත්‍රණයක් කර, පාවුලු මරනතුරු නොකා නොබී සිටීමට දිවුරුමකින් බැඳුණෝ ය.</verse>
				<verse number="13">මේ කුමන්ත්‍රණය කළ අය සතළිස්දෙනෙකුට වැඩි වූ හ.</verse>
				<verse number="14">ඔව්හු නායක පූජකයන් ද ප්‍රජා මූලිකයන් ද ළඟට ගොස්, “පාවුලු මරනතුරු අපි කිසිවක් කටේ නොතියන්නට තද දිවුරුමකින් බැඳී සිටිමු.</verse>
				<verse number="15">එබැවින් ඔබ මන්ත්‍රණ සභාව සමඟ, ඔහු පිළිබඳ තතු වඩා හරි ලෙස වගවිභාග කරන්නට යන්නාක් මෙන්, හෙට ඔබ වෙතට ඔහු ගෙනෙන ලෙස සේනාධිපතියාට දන්වා හරින්න. ඔහු මෙතැනට පැමිණෙන්නට පෙර අපි ඔහු මරන්නට සූදානම් කරමු”යි කී හ.</verse>
				<verse number="16">ඔවුන්ගේ ඒ උපාය ගැන ඇසූ පාවුලුගේ සහෝදරීගේ පුත්‍රයා අවුත්, බලකොටුවට ඇතුළු වී, පාවුලුට එපවත් සැළ කෙළේ ය.</verse>
				<verse number="17">එවිට පාවුලු ශතාධිපතියන්ගෙන් කෙනෙකු කැඳවා, “මේ තරුණයා ප්‍රධාන සේනාධිපතියා ළඟට ගෙන යන්න; ඔහුට දැන්විය යුතු යම් කාරණයක් ඇතැ”යි කී ය.</verse>
				<verse number="18">එවිට ඔහු සේනාධිපතියා ළඟට තරුණයා ගෙන ගොස්: “පාවුලු නම් හිරකරුවා මා කැඳවා, ඔබට දන්වන්නට කාරණයක් ඇති හෙයින් මේ තරුණයා ඔබ වෙත ගෙනෙන්නට මාගෙන් ඉල්ලුවේ ය”යි කී ය.</verse>
				<verse number="19">එකල සේනාධිපතියා ඔහු අතින් අල්ලා ගෙන පසෙකට ගොස්, “මට දන්වන්නට තිබෙන කාරණය කුමක් දැ”යි ඇසී ය.</verse>
				<verse number="20">ඔහු කතා කොට, “පාවුලු ගැන මන්ත්‍රණ සභාව වැඩිදුරටත් වගවිභාග කරන්නට යන්නාක් මෙන්, ඔහු හෙට සභාවට ගෙනෙන ලෙස ජුදෙව්වරු ඔබගෙන් ඉල්ලීමට නියම කරගෙන සිටිති.</verse>
				<verse number="21">එහෙත් ඔවුන්ගේ කැමැත්තට ඉඩ නුදුන මැනවි. මන්ද, ඔවුන්ගෙන් හතළිහකට වැඩි ගණනක් ඔහු මරනතුරු නොකා නොබී සිටීමට දිවුරුමකින් බැඳී සැඟවී, බලා ගෙන සිටිති. දැන් ඔව්හු සූදානම් ව ඔබ තීරණය දෙන තෙක් බලා සිටිති”යි කී හ.</verse>
				<verse number="22">එවිට සේනාධිපතියා, “ඔබ මේ දේවල් මට දැන් වූ බව කිසිවෙකුට නොකියන්න”යි අණ කොට තරුණයා යන්නට හැරියේ ය.</verse>
				<verse number="23">ඉක්බිති ඔහු ශතාධිපතීන් දෙදෙනෙකු කැඳවා, “කායිසාරිය දක්වා යන පිණිස හේවායන් දෙසියයක් ද අසරුවන් සැත්තෑවක් ද කුන්තධරයන් දෙසියයක් ද රෑ නවයට සූදානම් කරන්නැ”යි කී ය.</verse>
				<verse number="24">ෆීලික්ස් නම් ආණ්ඩුකාරයා වෙත ප්‍රවේසමෙන් පාවුලු ගෙන යන පිණිස අශ්වයන් සපයා තබන්නට ද අණ කෙළේ ය.</verse>
				<verse number="25">තවද, ඔහු මෙසේ ලිපියක් ලීවේ ය:</verse>
				<verse number="26">“ක්ලෞදියස් ලිසියස්, ශ්‍රීමත් ෆීලික්ස් නම් ආණ්ඩුකාරයාණන්ට සුබ පතමින් ලියා එවන වග නම්:</verse>
				<verse number="27">ජුදෙව්වරුන් මේ මනුෂ්‍යයා අල්ලා මරන්නට තැත් කළ විට, ඔහු රෝම පුරවැසියෙකු බව දැන ගෙන, මම හේවායන් සමඟ ගොස් ඔහු මුදා ගතිමි.</verse>
				<verse number="28">ඔවුන් ඔහුට විරුද්ධ ව කළ චෝදනා දැන ගන්නා පිණිස, ඔවුන්ගේ මන්ත්‍රණ සභාවට ඔහු ගෙන ගියෙමි.</verse>
				<verse number="29">එවිට ඔවුන්ගේ ව්‍යවස්ථාවලියේ ප්‍රශ්න ගැන ඔහුට වැරදි තබන බව මිස, මරණයට වත්, සිරගත කිරීමට වත් සුදුසු කිසිවක් ගැන ඔහුට චෝදනා නොකළ බව දැන ගතිමි.</verse>
				<verse number="30">එහෙත් ඒ මනුෂ්‍යයාට විරුද්ධ ව කූට උපායක් යොදන්නට යන බව මට දන්වනු ලැබූ බැවින් එවේලේ ම ඔහු ඔබ වෙතට එවා, ඔහුට විරුද්ධ ව ඇති චෝදනා ඔබ ඉදිරියේ තබන්නට පැමිණිලිකරුවන්ට අණ කෙළෙමි.”</verse>
				<verse number="31">මෙසේ හේවායන්ට අණ කළ ලෙස ඔව්හු පාවුලු රැගෙන එම රාත්‍රියේ ම අන්තිපත්‍රිසයට ගියහ.</verse>
				<verse number="32">පසුවදා අසරුවන් ඔහු සමඟ යන්නට හැර, හේවායෝ බලකොටුවට හැරී ආහ.</verse>
				<verse number="33">අසරුවෝ කායිසාරියට අවුත් ලිපියත් සමඟ, පාවුලු ආණ්ඩුකාරයාට භාර දුන්හ.</verse>
				<verse number="34">එවිට ඔහු ඒ ලිපිය කියවා, පාවුලු කොයි පළාතේ කෙනෙක් දැ යි අසා, සිලිසියාවේ තැනැත්තෙකු බව දැන ගත් විට,</verse>
				<verse number="35">“ඔබේ පැමිණිලිකරුවන් පැමිණි විට ඔබට කියන්නට ඇති දේ අසමි”යි කියා හෙරොද්ගේ මාලිගාවේ ඔහු රැකවලෙහි තබන්නට අණ කෙළේ ය.</verse>
			</chapter>
			<chapter number="24">
				<verse number="1">පස් දවසකට පසු උත්තම පූජක අනනියස්, සමහර ප්‍රජා මූලිකයන් ද තෙර්තුලස් නම් එක්තරා අධි නීතිඥයෙකු සමඟ අවුත් පාවුලුට විරුද්ධ ව ආණ්ඩුකාරයාට පැමිණිලි කෙළේ ය.</verse>
				<verse number="2">ඔහු කැඳවනු ලැබූ කල, තෙර්තුලස් පාවුලුට විරුද්ධ ව පැමිණිලි දේශනය මෙසේ අරඹමින්: “ශ්‍රීමත් ෆීලික්ස් තුමෙනි, ඔබ තුමන් නිසා අපට ස්ථිරසාර සාම යුගයක් ද ඔබගේ දුරදර්ශී පාලනයෙන් මේ ජාතිය උදෙසා ප්‍රතිසංස්කරණ යුගයක් ද පහළ වී ඇති බව,</verse>
				<verse number="3">සැම විට ම, සැම තැන්හි ම, සියලු අයුරින් කෘතඥතාපූර්වක ව අපි පිළිගනිමු.</verse>
				<verse number="4">එහෙත් ඔබ තවදුරටත් පමා නොකර, මා ලුහුඬින් කියන දේ කරුණාවෙන් අසන ලෙස අයැදිමි.</verse>
				<verse number="5">මන්ද, මේ මිනිසා කරදරකාරයෙකු බව ද ලොව පුරා සියලු ජුදෙව්වරුන් අතර කැරලි උපදවන්නෙකු බව ද නාසරියයන්ගේ නිකායේ කැරලිනායකයෙකු බව ද දැනගතිමු.</verse>
				<verse number="6">මොහු දේව මාලිගාව කෙලෙසන්නටත් උත්සාහ කෙළේ ය. එහෙත් අපි ඔහු අල්ලා ගතිමු. අපගේ ම ව්‍යවස්ථාව අනුව ඔහු විනිශ්චය කිරීම අපගේ තීරණය විය.</verse>
				<verse number="7">එහෙත් ප්‍රධාන සේනාධිපතියා වන ලිසියස් අවුත් මහත් බලහත්කාරයෙන් ඔහු පැහැර ගෙන,</verse>
				<verse number="8">ඔහුට වරද තබන පිණිස ඔබ වෙතට ඒමට අණ කෙළේ ය. අප මොහුට විරුද්ධ ව ගෙනෙන පැමිණිලි සියල්ල ගැන මොහුගෙන් ම විචාරා දැනගන්නට ඔබට පුළුවනැ”යි කී ය.</verse>
				<verse number="9">ජුදෙව්වරු ද ඊට එකඟ ව පැමිණිලි කරමින්, “ඒ සියල්ල සැබෑ ය”යි සම්මත කළහ.</verse>
				<verse number="10">කතා කරන පිණිස ආණ්ඩුකාරයා පාවුලුට සංඥා කළ කල්හි ඔහු මෙසේ පිළිතුරු දුනි: “ඔබ බොහෝ අවුරුදු ගණනක් මේ ජනතාවට විනිශ්චයකාරයෙකු ව සිටින බව මම දනිමි. එබැවින් මාගේ නිදහස ගැන මා උත්තර දෙන්නේ ඉතා සතුටිනි.</verse>
				<verse number="11">නමස්කාරය පිණිස මා ජෙරුසලමට ගොස් දැනට දොළොස් දවසකට වඩා නැති බව ඔබට ම දැන ගත හැකි ය.</verse>
				<verse number="12">දේව මාලිගාවේ දී වත්, ධර්මශාලාවල දී වත්, නගරයේ දී වත්, කිසි කෙනෙකු සමඟ මා වාද කරනවා හෝ සෙනඟ කලබල කරනවා හෝ ඔව්හු නුදුටුවෝ ය.</verse>
				<verse number="13">ඔවුන් දැන් මා පිට තබන වරද ඔප්පු කරන්නට ඔවුන්ට නොහැකි ය.</verse>
				<verse number="14">එහෙත් ඔබ ඉදිරියෙහි දැන් මා කියන්නට යන මේ දේ එනම්, නිකායක් යයි ඔවුන් සලකන ධර්ම මාර්ගය මම තරයේ පිළිගනිමි: ව්‍යවස්ථාවලියේ හා දිවැසාවලියේ ලියා තිබෙන සියල්ල විශ්වාස කරමින් අපේ පියවරුන්ගේ දෙවියන් වහන්සේට සේවය කරමි.</verse>
				<verse number="15">මා මෙසේ විශ්වාස කරන බැවින් දමිටුන්ගේ ද අදමිටුන්ගේ ද පුනරුජ්ජීවනයක් ඇතැ යි මොවුන් බලාසිටින්නාක් මෙන්, මමත් බලාපොරොත්තුවෙන් සිටිමි.</verse>
				<verse number="16">ඒ නිසා මමත් ඔවුන් මෙන් ම දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් ඉදිරියෙහි නිදොස් හෘදය සාක්ෂියක් ඇති ව සිටින්නට ද නිතර ම උත්සහ කරමි.</verse>
				<verse number="17">“අවුරුදු කීපයකට පසු මාගේ සෙනඟට සම්මාදම් බාර දී පූජා පවත්වනු සඳහා මෙහි ආවෙමි.</verse>
				<verse number="18">මේ සම්බන්ධයෙන් ඔවුන් දේව මාලිගාවේ දී මා දුටුවේ මා පවිත්‍ර කිරීමේ පිළිවෙත ඉටු කළායින් පසුව ය. එහි මා සමඟ සෙනඟක් සිටියේ නැත; කලබලයක් ද නොතිබිණි. එහෙත් ආසියාවෙන් පැමිණි සමහර ජුදෙව්වරු එහි සිටියෝ ය.</verse>
				<verse number="19">මට විරුද්ධ ව යමක් තිබුණා නම්, මට දෝෂාරෝපණය කරන පිණිස මෙහි ඔබ ඉදිරියට ඒම ඔවුන්ගේ යුතුකම ය.</verse>
				<verse number="20">නැතහොත්, මා මන්ත්‍රණ සභාව ඉදිරියේ කුමන අපරාධයක් කෙළේ දැ යි මෙහි සිටින මොවුහු කියත් වා. ඔවුන් ඉදිරියේ මා කියා ඇත්තේ එක ම එක දෙයයි. එනම්, ‘මළවුන්ගේ උත්ථාන වීම මා අදහන නිසා අද ඔබ විසින් විනිශ්චය කරනු ලබමි’ “යි යනු යි.</verse>
				<verse number="21">***</verse>
				<verse number="22">එහෙත් ෆීලික්ස් ඒ ධර්ම මාර්ගය ගැන කාරණා මැනවින් දැන සිටි බැවින්, “ලිසියස් නම් සේනාධිපතියා ආ කල ඔබගේ නඩුව තීන්දු කරන්නෙමි”යි කියා නඩුව කල් දැමී ය.</verse>
				<verse number="23">තවද පාවුලු රැකවලෙහි තබන්නටත් ඔහුට තරමක නිදහසක් දෙන්නටත්, ඔහුගේ මිත්‍රයන් ඔහුට උපස්ථාන කිරීම තහනම් නොකරන්නටත් ශතාධිපතියාට ඔහු අණ කෙළේ ය.</verse>
				<verse number="24">කීප දවසකට පසු ෆීලික්ස් ජුදෙව් ස්ත්‍රියක වූ ඩෘසිල්ලා නම් තම භාර්යාව සමඟ අවුත් පාවුලු ගෙන්වා, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ල ගැන ඔහු කතා කරනු ඇසී ය.</verse>
				<verse number="25">පාවුලු, සුචරිතය ගැන ද ආත්ම දමනය ගැන ද මතු පැමිණෙන විනිශ්චය ගැන ද කතා කරද්දී ෆීලික්ස් බියපත් ව, “දැනට යන්න, මට ඉඩ ප්‍රස්ථාවක් ලැබුණු විට ඔබ නැවත කැඳවන්නෙමි”යි කී ය.</verse>
				<verse number="26">ඒ ඇරත් තමාට පාවුලු මුදල් දෙනවා ඇතැ යි ඔහු බලාපොරොත්තුවෙන් සිටියේ ය. ඒ නිසා පාවුලු නැවත නැවත කැඳවා ඔහු සමඟ කතා කෙළේ ය.</verse>
				<verse number="27">එහෙත් දෑවුරුද්දක් ගත වූ පසු, ෆීලික්ස්ගේ නිලයට පොර්කියුස් ෆෙස්තුස් පත් කරන ලදී. ෆීලික්ස් වනාහි ජුදෙව්වරුන් සතුටු කරන්නට කැමැති ව, පාවුලු හිරබාරයෙහි තබා ගියේ ය.</verse>
			</chapter>
			<chapter number="25">
				<verse number="1">ෆෙස්තුස් ඒ පළාතට පැමිණ තුන් දවසක් ගත වූ පසු කායිසාරියේ සිට ජෙරුසලමට ගියේ ය.</verse>
				<verse number="2">නායක පූජකයෝ ද ජුදෙව්වරුන්ගේ ප්‍රධානීහු ද පාවුලුට විරුද්ධ ව ෆෙස්තුස්ට පැමිණිලි කළහ.</verse>
				<verse number="3">තමන්ට විශේෂ සැලකිලි දැක්වීමක් වශයෙන් පාවුලු ජෙරුසලමට යවන ලෙස ඔව්හු ෆෙස්තුස්ගෙන් ඉල්ලූ හ. එසේ කෙළේ ඔවුන් මාර්ගයේ රැක සිට ඔහු මැරීමට උපායක් යෙදූ බැවිනි.</verse>
				<verse number="4">එහෙත් ෆෙස්තුස් උත්තර දෙමින්, “පාවුලු කායිසාරියේ සිරභාරයේ සිටින බවත්, තමා ද ඉක්මනින් එහි යන්නට අදහස් කරන බවත් කී ය.</verse>
				<verse number="5">එහෙයින් ඔබ අතර සැලකිය යුතු අය, මා සමඟ ගොස් ඒ මනුෂ්‍යයා අත යම් වරදක් ඇත්නම්, ඔහුට විරුද්ධ ව චෝදනා කරත් වා”යි කී ය.</verse>
				<verse number="6">ඔහු ඔවුන් අතරෙහි දවස් අටක් හෝ දහයක් හෝ පමණ නතර වී, කායිසාරියට ගොස් පසුවදා විනිශ්චයාසනයෙහි හිඳ පාවුලු ගෙනෙන්නට අණ කෙළේ ය.</verse>
				<verse number="7">ඔහු ආ කල, ජෙරුසලමෙන් පැමිණි ජුදෙව්වරු පාවුලු වටකර සිට ඔහුට විරුද්ධ ව, ඔප්පු කළ නොහැකි, බරපතල වූ බොහෝ චෝදනා ඉදිරිපත් කළහ.</verse>
				<verse number="8">පාවුලු තමාගේ නිදහසට උත්තර දෙමින්, “මම ජුදෙව්වරුන්ගේ ව්‍යවස්ථාවලියට වත්, දේව මාලිගාවට වත්, සීසර් අධිරාජයාට වත් විරුද්ධ ව කිසි වරදක් නොකෙළෙමි”යි කී ය.</verse>
				<verse number="9">එහෙත් ෆෙස්තුස් ජුදෙව්වරුන් සතුටු කරන අදහසින් පාවුලුට කතා කොට, “ඔබ ජෙරුසලමට ගොස්, එහි දී මේ චෝදනා ගැන මා ඉදිරියෙහි විනිශ්චය කරනු ලබන්නට කැමැත්තෙහි දැ”යි ඇසී ය.</verse>
				<verse number="10">එහෙත් පාවුලු, “මම සීසර් අධිරාජයාගේ විනිශ්චයාසනය ඉදිරියෙහි සිටිමි; මා විනිශ්චය කළ යුත්තේ මෙහි දී ය. ජුදෙව්වරුන්ට මා කිසි වරදක් කෙළේ නැත; ඒ බව ඔබටත් හොඳාකාර පෙනී යනු ඇත.</verse>
				<verse number="11">ඉදින් මම වරදකාරයෙක් නම්, මරණයට සුදුසු යමක් මා කර තිබේ නම්, මා මරණ දඬුවමින් මුදන ලෙස නො ඉල්ලමි. එහෙත් මොවුන් මට තබන චෝදනාවල කිසි සත්‍යයක් නැත්නම්, මා ඔවුන් අතට පාවා දීමට කිසිවෙකුට බැරි ය. මම සීසර් අධිරාජයාගේ විනිශ්චය ඉල්ලමි”යි කී ය.</verse>
				<verse number="12">එවිට ෆෙස්තුස් උපදේශක මණ්ඩලය සමඟ සාකච්ඡා කොට, “ඔබ සීසර් අධිරාජයාගේ විනිශ්චය ඉල්ලුවෙහි ය. ඔබ සීසර් අධිරාජයා වෙත යන්නෙහි ය”යි පාවුලුට කී ය.</verse>
				<verse number="13">කීප දවසකට පසු අග්‍රිපා රජ ද බර්නිස් ද ෆෙස්තුස්ට ආචාර කරන පිණිස කායිසාරියට පැමිණිය හ.</verse>
				<verse number="14">ඔවුන් බොහෝ දවස් එහි නැවතී සිටිය දී ෆෙස්තුස් පාවුලු පිළිබඳ කාරණය රජුට දන්වමින්, “ෆීලික්ස් නිදහස් නොකර ගිය එක් සිරකරුවෙක් මෙහි සිටියි.</verse>
				<verse number="15">මා ජෙරුසලමට ගිය විට නායක පූජකයෝ ද ජුදෙව්වන්ගේ සභා මූලිකයෝ ද ඔහු ගැන මට චෝදනා කරමින්, ඔහු වරදකරුවෙකැ යි තීන්දු කරන ලෙස මගෙන් ඉල්ලූ හ.</verse>
				<verse number="16">මම ඔවුන්ට පිළිතුරු දෙමින්, ‘පැමිණිලිකරුවන් ඉදිරියෙහි තම චෝදනා ගැන උත්තර දීම හා තම නිදහසට කරුණු ඉදිරිපත් කිරීමක් නැති ව, කිසි ම වරදකරුවෙකු පාවා දීම රෝමවරුන්ගේ සම්ප්‍රදායයක් නොවේ ය’යි කීවෙමි.</verse>
				<verse number="17">එහෙයින් ඔවුන් මෙහි රැස් වූ කල මම නොපමා ව පසුදා විනිශ්චයාසනයෙහි හිඳ ඒ මිනිසා ගෙනෙන්නට අණ කෙළෙමි.</verse>
				<verse number="18">එහෙත් ඔහුගේ පැමිණිලිකරුවෝ, මා සිතූ අන්දමේ කිසි වරදක් ඔහු පිට නොතැබූ හ.</verse>
				<verse number="19">ඔහුට විරුද්ධ ව ඔවුන් ඉදිරිපත් කෙළේ තම ආගම ගැනත්, ජේසුස් නම් මළගිය කෙනෙකු යළි ජීවත් ව සිටිති යි යන පාවුලුගේ කීම ගැනත් විවාද සමහරක් පමණකි.</verse>
				<verse number="20">මේ දේවල් ගැන විභාග කරන්නේ කෙසේ දැ යි සිතින් වියවුල් වූ මම, ජෙරුසලමට ගොස්, එහි දී මේ කාරණා ගැන විනිශ්චය කරනු ලබන්නට කැමැති දැ යි ඔහුගෙන් ඇසුවෙමි.</verse>
				<verse number="21">එහෙත් අධිරාජයාගේ තීරණයට නඩුව ඉදිරිපත් කරන මෙන් පාවුලු ඉල්ලූ විට, ඔහු සීසර් අධිරාජයා ළඟට යන තුරු රැකවලෙහි තැබීමට මම අණ කෙළෙමි”යි කී ය.</verse>
				<verse number="22">එවිට අග්‍රිපා: “මමත් ඒ මනුෂ්‍යයා කතා කරනවා අසන්නට කැමැත්තෙමි”යි ෆෙස්තුස්ට කී ය. “හෙට ඔබට අසන්නට ලැබේ ය”යි ඔහු පිළිතුරු දුනි.</verse>
				<verse number="23">එසේ පසුවදා අග්‍රිපා ද බර්නිස් ද මහත් හරසරින් අවුත් ප්‍රධාන සේනාධිපතීන් හා නුවර ප්‍රභූන් හා සමඟ නඩු ශාලාවට පැමිණි කල, ෆෙස්තුස්ගේ ආඥාවෙන් පාවුලු එහි ගෙන්වන ලදී.</verse>
				<verse number="24">ෆෙස්තුස් කතා කොට: “අග්‍රිපා රජතුමෙනි, මෙහි අප සමඟ සිටින සියලු භවතුනි, මොහු තවත් ජීවත් ව සිටින්නට නොවටනේ යයි ජෙරුසලමේදීත් මෙහිදීත් ජුදෙව් සමූහයා මොරගසමින් මට පැමිණිලි කෙළේ ඔබට පෙනෙන මේ මිනිසා ගැන ය.</verse>
				<verse number="25">එහෙත් මරණ දඬුවමට සුදුසු කිසිවක් මොහු නොකළ බව මට පෙනී ගියේ ය. ඇරත්, මොහු ම අධිරාජයාගේ විනිශ්චය ඉල්ලූ බැවින් ඔහු එහි යැවීමට මම නියම කෙළෙමි.</verse>
				<verse number="26">ඔහු ගැන අධිරාජයාට ලියා යැවීමට නිසැක කිසිවක් මට නැත. එබැවින් මේ විභාගය කළ පසු ලියා ඇරීමට යම් යම් කරුණු මට ලැබෙන පිණිස ඔබ හැම ඉදිරියට, විශේෂයෙන් අග්‍රිපා රජතුමෙනි, ඔබ ඉදිරියට ද ඔහු ගෙනාවෙමි.</verse>
				<verse number="27">සිරකරුට විරුද්ධ ව ඇති චෝදනා නොදන්වා ඔහු යැවීම අනුවණ ක්‍රියාවක් බව මට පෙනේ ය”යි කී ය.</verse>
			</chapter>
			<chapter number="26">
				<verse number="1">එවිට අග්‍රිපා රජු, “ඔබේ නිදහසට කරුණු කීමට දැන් අවසර තිබේ ය”යි පාවුලුට කී ය. එකල පාවුලු අත දිගු කොට තමාගේ නිදහසට මෙසේ කරුණු කියා පෑවේ ය:</verse>
				<verse number="2">“අග්‍රිපා රජතුමෙනි, ජුදෙව්වරුන් විසින් මට විරුද්ධ ව නඟන හැම චෝදනා ගැන ම අද ඔබ ඉදිරියේ උත්තර දීමට මා සිටින බැවින් මම භාග්‍යවන්තයෙකැ යි සිතමි.</verse>
				<verse number="3">විශේෂයෙන් ම මෙසේ සිතන්නේ ජුදෙව්වරුන් අතර පවතින සියලු සිරිත් ද මතභේද ද ඔබ හොඳාකාර දන්න නිසා ය. එහෙයින් මා කියන දේට ඉවසිල්ලෙන් සවන් දෙන මෙන් ඉල්ලමි.</verse>
				<verse number="4">“යොවුන් වියේ පටන් මාගේ රට වැසියන් අතර හා ජෙරුසලමෙහි ද මාගේ හැසිරීම ගැන මුල පටන් සියලු ජුදෙව්වරු දනිති.</verse>
				<verse number="5">අපේ ආගමේ ඉතා දැඩිතර නිකාය අනුව, මා පරිසිවරයෙකු ව ජීවත් වූ බව ඔව්හු බොහෝ කලෙක සිට දනිති; කැමැති නම් ඔවුන්ට ඒ ගැන සාක්ෂි දෙත හැකි ය.</verse>
				<verse number="6">එහෙත් දෙවියන් වහන්සේ අපේ පියවරුන්ට දුන් පොරොන්දුව කෙරේ විශ්වාසය තැබීම ගැන දැන් මම විනිශ්චය කරනු ලබන්නට සිටිමි.</verse>
				<verse number="7">අපගේ ගෝත්‍ර දොළොස රෑ දාවල් උද්‍යෝගිමත් ව දෙවියන් වහන්සේට නමස්කාර කරන්නේ මේ පොරොන්දුව කෙරේ විශ්වාසයෙනි. රජතුමෙනි, ජුදෙව්වරුන් මට වරද තබන්නේ මේ බලාපොරොත්තුව නිසා ය.</verse>
				<verse number="8">දෙවියන් වහන්සේ මළවුන් උත්ථාන කරන බව විශ්වාස කළ නොහැකි යයි ඔබ අතරෙන් කිසිවෙකු සිතන්නේ මන් ද?</verse>
				<verse number="9">“නාසරෙත්හි ජේසුස් වහන්සේගේ නාමයට විරුද්ධ ව බොහෝ දේ මා විසින් කළ යුතු යයි වරක් මමත් සිතුවෙමි.</verse>
				<verse number="10">ජෙරුසලමේ දී මා කළේත් එයම ය. නායක පූජකයන්ගෙන් බලය ලැබ, ඇදහූ අයගෙන් බොහෝ දෙනෙකු සිරගෙවල දැමුවෙමි; ඔවුන් මරණ දඬුවමට පත් කරන කල්හි ඊට එකඟ ව ඡන්දය ද දුනිමි.</verse>
				<verse number="11">තවද සියලු ධර්මශාලාවල දී නොයෙක් විට ඔවුන්ට දඬුවම් කරමින්, ඔවුන් ලවා දේවාපහාස කරවන්නට උත්සාහ කෙළෙමි; මම ඔවුන් ගැන කෝපයෙන් දිළිහෙමින්, අන් නුවරවලට ද ගොස් ඔවුන්ට පීඩා කෙළෙමි.”</verse>
				<verse number="12">“ඒ සඳහා නායක පූජකයන්ගෙන් බලය ද අවසරය ද ලැබ, දමස්කයට මා ගමන් කරද්දී,</verse>
				<verse number="13">රජතුමෙනි, ඉර මුදුන් වේලෙහි මා ද මා සමඟ ගියවුන් ද වට කර සූර්ය තේජසට වඩා දීප්තිමත් එළියක් බබළනවා දුටිමි.</verse>
				<verse number="14">අප සියල්ලන් ම බිම වැටුණු කල, ‘සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන් ද? කෙවිටට පයින් ගැසීම ඔබට අන්තරායදායක ය’යි හෙබ්‍රෙව් භාෂාවෙන් මට කියන හඬක් ඇසිණි.</verse>
				<verse number="15">මම ද, ‘ස්වාමීනි, ඔබ කවරෙක් දැ’යි ඇසුවෙමි. සමිඳාණන් වහන්සේ ද; ‘මම නම් ඔබ පීඩා කරන ජේසුස් වෙමි.</verse>
				<verse number="16">නැඟිට කෙළින් සිටින්න. මන්ද, මා ඔබට දර්ශනය වූයේ මේ නිසා ය. එනම්, ඔබ දුටු දර්ශනය ගැන ද, තවත් ඔබට ප්‍රකාශ කරන්නට යන දේවල් ගැන ද ඔබ සේවකයෙකු හා සාක්ෂිකරුවෙකු කිරීමට ය.</verse>
				<verse number="17">මේ සඳහා ජුදෙව් සෙනඟගෙන් ද විජාතීන්ගෙන් ද මම ඔබ ගළවන්නෙමි.</verse>
				<verse number="18">මා අදහාගැනීමෙන් ඔවුන් පව් කමාව ද, දෙවියන් වහන්සේගේ ම ජනතාව අතරෙහි උරුමයක් ද ලබන පිණිස ඔවුන් අන්ධකාරයෙන් ආලෝකයට ද, සාතන්ගේ බලයෙන් දෙවියන් වහන්සේ වෙතට ද හැරෙන ලෙස ඔවුන්ගේ ඇස් පැහැදවීමට ඔවුන් වෙතට ඔබ යවමි’යි වදාළ සේක.</verse>
				<verse number="19">“එහෙයින්, අග්‍රිපා රජතුමෙනි, ස්වර්ගීය දර්ශනයට අකීකරු වීම මට නොහැකි විය.</verse>
				<verse number="20">පළමුකොට දමස්කයේ හා ජෙරුසලමේ ද පසුව ජුදා රට මුළුල්ලෙහි ද වැසියන්ටත්, විජාතීන්ටත්, පසුතැවී සිත් හරවා ගෙන දෙවියන් වහන්සේ වෙත හැරී, පසුතැවී සිත් හරවා ගත් බව දක්වන ක්‍රියා කරන්නැ යි ප්‍රකාශ කෙළෙමි.</verse>
				<verse number="21">මේ කාරණය නිසා ජුදෙව්වරු දේව මාලිගාවේ දී මා අල්ලා මරන්නට තැත් කළහ.</verse>
				<verse number="22">එසේ වුව ද දේව වරප්‍රසාදයෙන් අද දක්වා ලොකු කුඩා කාටත් සාක්ෂි දෙමින් මම මෙහි සිටිමි. මා කියන්නේත් අනාගතයේ දී සිදුවනු ඇතැ යි දිවැසිවරුන් හා මෝසෙස් කී දේ ම ය.</verse>
				<verse number="23">එනම්, ක්‍රිස්තුන් වහන්සේ දුක් විඳින්නට ඕනෑ බවත්, සෙනඟට හා විජාතීන්ට ආලෝකය ප්‍රකාශ කිරීම සඳහා, සියල්ලනට පළමුවෙන් උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වෙන්නට ඕනෑ බවත් ය.”</verse>
				<verse number="24">ඔහු මෙසේ තමාගේ නිදහසට කාරණා කියද්දී: “පාවුලු, ඔබට පිස්සු ය; බොහෝ උගත්කම ඔබ පිස්සෙකු කර ඇතැ”යි ෆෙස්තුස් මහා හඬින් කී ය.</verse>
				<verse number="25">එහෙත් පාවුලු, “ගරුතර ෆෙස්තුස් තුමෙනි, මට පිස්සු නැත; මා කියන්නේ නියම ඇත්ත ය.</verse>
				<verse number="26">මේ දේවල් ගැන රජතුමාට මනා දැනුමක් ඇත. එබැවින් නොබිය ව එතුමාට කතා කරමි. මන්ද, මේ දේවලින් කිසිවක් අස්සක මුල්ලක සිදු නොවූ බැවින් ඒවා එතුමාගෙන් සැඟවී නැතැ යි විශ්වාස කරමි.</verse>
				<verse number="27">අග්‍රිපා රජතුමෙනි, ඔබ දිවැසිවරුන් විශ්වාස කරන්නෙහි ද? ඔබ විශ්වාස කරන බව මම දනිමි”යි කී ය.</verse>
				<verse number="28">එවිට අග්‍රිපා රජ කතා කොට: “ඔබ පහසුවෙන් මා ක්‍රිස්තියානිකාරයෙකු කරන්නට සිතනවා වගේ ය”යි පාවුලුට කී ය.</verse>
				<verse number="29">පාවුලු කතා කොට, “ඔබ පමණක් නොව, අද මාගේ වචනය අසන සියල්ලන් ද, පහසුවෙන් හෝ අපහසුවෙන් හෝ මාගේ මේ යදම් නැති ව, මා වාගේ ම වන ලෙස දෙවියන් වහන්සේට යාච්ඤා කරමි”යි කී ය.</verse>
				<verse number="30">එවිට රජ ද ආණ්ඩුකාරයා ද බර්නිස් ද ඔවුන් සමඟ සිටි අය ද නැඟිට,</verse>
				<verse number="31">පිටතට ගොස්, “මේ මිනිසා මරණයට වත් යදම්වලින් බඳිනු ලැබීමට වත් සුදුසු කිසි දෙයක් කර නැතැ”යි ඔවුනොවුන් අතර කතා කරගත්හ.</verse>
				<verse number="32">අග්‍රිපා තෙමේ ෆෙස්තුස්ට කතා කොට, “මේ මිනිසා සීසර් අධිරාජයාගේ විනිශ්චය නොඉල්ලුවා නම් ඔහු මුදා හැරීමට හැකි ව තිබුණේ ය”යි කී ය.</verse>
			</chapter>
			<chapter number="27">
				<verse number="1">ඉතාලියට නැව් නැඟී යන්නට තීරණය කරනු ලැබූ විට, පාවුලු සමඟ තවත් සිරකාරයෝ සමහර දෙනෙක්, අගොස්තීනු නම් බලඇණියේ, ජුලියස් නම් ශතාධිපතියාට භාර දෙන ලද්දෝ ය.</verse>
				<verse number="2">අපි ආසියාවේ මුහුදුබඩ වරායවලට යාත්‍රා කරන්නට සූදානම් ව තිබුණු අද්‍රාමුත්තියේ නැවකට නැඟී පිටත් වුණෙමු. තෙසලෝනිකයේ මසිදෝනි වැසියෙක් වූ අරිස්තාර්කස් අප සමඟ සිටියේ ය.</verse>
				<verse number="3">පසුවදා අපි සීදොනට ළඟා වීමු. ජුලියස් පාවුලුට කරුණාව දක්වමින් ඔහුගේ මිත්‍රයන් හමු වීමට යන්නටත්, ඔවුන්ගෙන් සත්කාර ලබන්නටත් ඔහුට ඉඩ දුන්නේ ය.</verse>
				<verse number="4">එතැනින් පිටත් වී යන විට, සුළඟ අපට විරුද්ධ ව හැමූ බැවින් සයිප්‍රසයේ වෙරළාසන්නයෙන් යාත්‍රා කෙළෙමු.</verse>
				<verse number="5">සිලිසිය සහ පම්පිලියාවේ වෙරළාසන්න මුහුද මැදින් යාත්‍රා කර, මුරා නම් ලිසියාවේ නුවරකට පැමිණියෙමු.</verse>
				<verse number="6">එහි දී ශතාධිපතියා ඉතාලියට යන අලෙක්සන්ද්‍රියාවේ නැවක් දැක අප එහි නැංවී ය.</verse>
				<verse number="7">කීප දිනක් ම හෙමින් යාත්‍රා කිරීමට සිදු වූ බැවින්, බොහෝ අමාරුවෙන් කනීදස ඉදිරියට පැමිණියෙමු. සුළඟ නිසා ගොඩබසින්නට නොහැකි වූ හෙයින්, අපි ක්‍රීතයේ වෙරළට ළං ව සල්මොන් තුඩුව වෙතට ගියෙමු.</verse>
				<verse number="8">අමාරුවෙන් එය ද පසු කර ලසේය නුවර අසල පිහිටි සුන්දර වරාය නම් තැනකට පැමිණියෙමු.</verse>
				<verse number="9">බොහෝ කල් ගත වී, උපවාස කාලය ද ගෙවී ගිය බැවින්, මුහුදු ගමන අන්තරාය සහිත වූයෙන්, පාවුලු ඔවුන්ට දැනමුතුකම් දෙමින්,</verse>
				<verse number="10">“භවතුනි, මේ ගමන බඩුවලට සහ නැවට පමණක් නොව, අපේ ජීවිතවලටත් අන්තරායදායක වූ, බොහෝ අලාභ හානි පමුණුවන්නක් බව මට පෙනේ ය”යි කී ය.</verse>
				<verse number="11">එහෙත් ශතාධිපතියා පාවුලු කී දේවලට වඩා නැව්පතියාගේ ද නැව් අයිතිකාරයාගේ ද කීම් සැලකුවේ ය.</verse>
				<verse number="12">ශීත කාලයේ නැවතී සිටීමට ඒ වරාය අහිතකර වූයෙන්, එතැනින් පිටත් වී පුළුවන් නම් ඊසානට හා ගිනිකොණට මුහුණ දුන් ක්‍රීතයේ වරායක් වූ පෙනීකියට පැමිණ එහි ශීත කාලය ගත කරන ලෙස වැඩිදෙනා කැමැත්ත දැක්වූ හ.</verse>
				<verse number="13">දකුණෙන් මඳ සුළඟක් හැමූ කල, ඔව්හු තමන්ගේ අදහස ඉටු වී යයි සිතා නැංගුරම් ඔසවා ක්‍රීතයේ වෙරළ ළඟින් ම ගියහ.</verse>
				<verse number="14">එහෙත් නොබෝ වේලාවකින් ‘එව්රකුලොන්, නම් චණ්ඩ මාරුතයක් දිවයින හරහා හැමුවේ ය.</verse>
				<verse number="15">නැව ඊට අසු වී, සුළඟට මුහුණ පා යන්නට බැරි වූ බැවින්, අපි එය සුළඟට ගසාගෙන යන්නට ඉඩ හැරියෙමු.</verse>
				<verse number="16">තවද, ක්ලෞද නම් සුළු දිවයිනක මුවාවට දුව ගොස් අමාරුවෙන් නැවේ ඔරුව රැකගත්තෙමු.</verse>
				<verse number="17">ඔව්හු එය නැවට ඔසවා, ආධාර කඹ නැව යටින් දමා බැන්දාහ; සර්ටිස්හි වැලි කණ්ඩිවල ගැටේ ය යන බියෙන් ඔව්හු කුඹදැව බා, නැව ගසා ගෙන යන්නට ඉඩ දුන්හ.</verse>
				<verse number="18">තද කුණාටුවකට අසු වී සිටි බැවින් පසුවදා ඔව්හු නැව සැහැල්ලු කරන්නට පටන්ගත්හ.</verse>
				<verse number="19">තුන් වන දා ඔව්හු තමන්ගේ ම අත්වලින් නැවේ බඩු බාහිරාදිය මුහුදට වීසි කළහ.</verse>
				<verse number="20">බොහෝ දවස් ඉර වත් තාරකා වත් නොපෙනුණ බැවින් ද, තද කුණාටුවක් පැවතුණ බැවින් ද අපේ ආරක්ෂාව ගැන තිබුණු සියලු බලාපොරොත්තු එතැන් පටන් සුන් වී ගියේ ය.</verse>
				<verse number="21">අප බොහෝ දිනක් කෑම නොගෙන සිටි බැවින්, පාවුලු ඔවුන් මැද සිට, “භවතුනි, ක්‍රීතයෙන් පිටත් නොවන ලෙස මා දුන් අවවාදයට ඇහුම්කන් දිය යුතු ව තිබිණි. එසේ කෙළේ නම් මෙවැනි අන්තරාවක් හා අලාභයක් පැමිණෙන්නේ නැත.</verse>
				<verse number="22">කෙසේ වෙතත් දැන් ඉතින් ධෛර්යවත් ව සිටින ලෙස ඔබට අවවාද කරමි. මන්ද, නැවට මිස ඔබ අතර ජීවිතහානියක් නොවන්නේ ය.</verse>
				<verse number="23">මා වැඳුම්පිදුම් කරන මාගේ ම දෙවියන් වහන්සේගේ දුතයෙක් ඊයේ රාත්‍රියේ මා ළඟ සිට,</verse>
				<verse number="24">‘පාවුලු බිය නොවන්න; ඔබ අධිරාජයා ඉදිරියෙහි සිටින්නට ම ඕනෑ ය. මෙන්න, ඔබ සමඟ නැවෙන් යන සියල්ලන්ගේ ද ආරක්ෂාව දෙවියන් වහන්සේ ඔබට දුන් සේකැ’යි කී ය.</verse>
				<verse number="25">එබැවින්, භවතුනි, ධෛර්යවත් වන්න. මන්ද, මම දෙවියන් වහන්සේ විශ්වාස කරමි; මට කී ලෙස ම සිද්ධ වන්නේ යයි විශ්වාස කරමි.</verse>
				<verse number="26">එසේ වුවත් අප යම් දිවයිනකට ගසා ගෙන යා යුතු ය”යි කී ය.</verse>
				<verse number="27">දසසතර වන රාත්‍රියේ දී අප මධ්‍යධරණි මුහුදේ ඔබමොබ ගෙනයනු ලබන කල, මධ්‍යම රාත්‍රිය පමණේ දී නැව්කාරයන් අප වෙරළකට ළං වෙති යි සිතා, ගැඹුර බලා, මීටර් සතළිසක් බව දැනගත්හ.</verse>
				<verse number="28">තව ටිකක් ඈතට ගොස් නැවතත් ගැඹුර බලා මීටර් තිහක් බව දැනගත්හ.</verse>
				<verse number="29">එකල අප ගල්පරවල හැපේ ය යන බියෙන් ඔව්හු අවරෙන් නැංගුරම් සතරක් දමා, පහන් වන තෙක් ආශාවෙන් බලා සිටියහ.</verse>
				<verse number="30">නැවියන් නැවෙන් පලා යන්නට මඟක් සොයමින් ඇණියෙන් නැංගුරම් දමන්නට යන්නාක් මෙන් ඔරුව මුහුදට පහත් කළ විට පාවුලු කතා කර,</verse>
				<verse number="31">“මොවුන් නැවේ සිටියොත් මිස නැත්නම් ඔබට ගැළවෙන්නට නොපිළිවනැ”යි ශතාධිපතියාට ද හේවායනට ද කී ය.</verse>
				<verse number="32">එකල හේවායෝ ඔරුවේ යොත් කපා ඔරුව පාවී යන්නට ඇරියහ.</verse>
				<verse number="33">පහන් වේගන එන විට පාවුලු ඔවුන් සියල්ලන්ට ම කෑම කන්නට අවවාද කරමින්, “ඔබ කිසිත් නොකා නිරාහාර ව බල බලා සිට අදට දසසතරවෙනි දවස ය.</verse>
				<verse number="34">එබැවින් කෑම කන මෙන් ඔබට අවවාද කරමි. මන්ද, ඔබගේ දිවි රැකගැනීම සඳහා එසේ කිරීම අවශ්‍ය ය. ඔබ කිසිවෙකුගෙන් ඉසකේ ගහක් තරමට වත් කිසිත් නැති නොවන්නේ ය”යි කී ය.</verse>
				<verse number="35">ඔහු මෙසේ කියා රොටි රැගෙන සියල්ලන් ඉදිරියෙහි දෙවියන් වහන්සේට ස්තුති කොට කඩා කන්නට පටන් ගත්තේ ය.</verse>
				<verse number="36">එවිට ඔව්හු සියල්ලෝ ම ධෛර්යවත් වී, තුමූ ද කෑම කෑහ.</verse>
				<verse number="37">නැවේ සිටි අපි සියල්ලෝ ම දෙසිය සැත්තෑසදෙනෙකි.</verse>
				<verse number="38">කෑම කා සෑහීමට පැමිණි ඔව්හු ධාන්‍ය මුහුදට දමා නැව සැහැල්ලු කළහ.</verse>
				<verse number="39">පහන් වූ කල ඒ දේශය කිමෙක් දැ යි බැලූ නැවියන්ට එය හඳුනාගත නොහැකි විය. එහෙත් වෙරළක් ඇති මුහුදු බොක්කක් දැක,</verse>
				<verse number="40">පුළුවන් නම්, නැව එහි ගෙන යන්නට තීරණය කරගත්හ. නැංගුරම් පහ කර මුහුදේ තිබෙන්නට හැර, ඒ සමඟ ම සුක්කානම්වල බැඳුම් මුදා, ඉස්සරහ රුවල සුළඟට නඟා වෙරළ බලා ගියෝ ය.</verse>
				<verse number="41">එහෙත් සැඩ පහරින් ගසාගන ගිය නැව වැලි කණ්ඩියක හැපුණේ ය. එවිට ඇණිය එරී තද වුණේ ය, රැළ වේගය නිසා අවරය බිඳෙන්න පටන් ගත්තේ ය.</verse>
				<verse number="42">තවද හිරකාරයන්ගෙන් කිසිවෙකු පීනා පැන නොයන පිණිස ඔවුන් මැරීමට හේවායෝ අදහස් කළහ.</verse>
				<verse number="43">එහෙත් ශතාධිපතියා පාවුලු ආරක්ෂා කරනු කැමැති ව ඒ අදහසින් ඔවුන් වළක්වා පීනන්නට පුළුවන් අය පළමුකොට මුහුදට පැන ගොඩට යන්නටත්,</verse>
				<verse number="44">සෙස්සන්ට ලෑලිවල ආධාරයෙන් හෝ නැවේ කැබලි ආධාරයෙන් හෝ ගොඩට යන්නටත් අණ කෙළේ ය. මෙසේ සියල්ලෝ ම ගැළවී ගොඩට පැමිණියහ.</verse>
			</chapter>
			<chapter number="28">
				<verse number="1">මෙසේ ගැළවී ගොඩට පැමිණි කල ඒ ද්වීපයේ නම මෝල්ටාව යයි දැනගතිමු.</verse>
				<verse number="2">දිවයිනේ වැසියෝ අපට බොහෝ කරුණාව දැක්වූ හ. වහින වැස්ස හා ශීතලය නිසා ඔව්හු ගිනිමැලයක් ගසා අප සියල්ලන් පිළිගත්හ.</verse>
				<verse number="3">පාවුලු දර මිටියක් එකතු කර ගින්නෙහි ලූ කල ගිනි රස්නයට සර්පයෙක් එයින් පිට වී අවුත් ඔහුගේ අතේ එල්ලුණේ ය.</verse>
				<verse number="4">ඒ සතා ඔහුගේ අතේ එල්ලී සිටිනවා දුටු රටවැසියෝ “ඒකාන්තයෙන් මේ මනුෂ්‍යයා මිනීමරුවෙකි, ඔහු මුහුදෙන් ගැළවුණ නමුත් ඔහුට ජීවත් වන්නට දෛවය ඉඩ නොහරී”යි කියා කතා කරගත්හ.</verse>
				<verse number="5">එහෙත් ඔහු ඒ සතා ගින්නට ගසා දමා කිසි හානියක් නැතිව සිටියේ ය.</verse>
				<verse number="6">ඔහු ඉදිමෙනු ඇතැ යි නොහොත් හදිසියෙන් මැරී වැටෙනු ඇතැ යි ඔව්හු බලා සිටියහ. බොහෝ වේලා බලා සිට, ඔහුට කිසි අනතුරක් නොවන බව දුටු කල, ඔව්හු සිය කල්පනාව වෙනස් කොට, “ඔහු දෙවි කෙනෙකැ”යි කී හ.</verse>
				<verse number="7">ඒ දිවයිනේ ප්‍රධානියා වූ පබ්ලියස් හට අයිති ඉඩම් ඒ අසල තිබුණේ ය. ඔහු අප පිළිගෙන තුන් දවසක් ආදරයෙන් අපට ආගන්තුක සත්කාර කෙළේ ය.</verse>
				<verse number="8">තවද පබ්ලියස්ගේ පියා උණෙන් සහ අතීසාරයෙන් පෙළෙමින් ඔත්පල ව සිටියේ ය. පාවුලු ඔහු උන් තැනට ගොස් යාච්ඤා කොට, ඔහු පිට අත් තබා, ඔහු සුව කෙළේ ය.</verse>
				<verse number="9">මෙය සිදු වූ කල දිවයිනේ අනෙක් රෝගීහු ද පැමිණ සුව කරනු ලැබූ හ.</verse>
				<verse number="10">ඔව්හු අපට බොහෝ ගරු සම්මාන කොට, අප පිටත් ව යන කල අපට වුවමනා දේ නැවේ පැටෙව්වෝ ය.</verse>
				<verse number="11">ඒ දිවයිනේ ශීත කාලය ගත කර තුන් මාසයකට පසු, ‘නිඹුල් සොහොයුරු’ යන සලකුණ ඇති අලෙක්සන්ද්‍රියාවේ නැවකට නැඟී අපි පිටත් වුණෙමු.</verse>
				<verse number="12">අපි සිරාකුසයට පැමිණ, එහි තුන් දවසක් සිටියෙමු.</verse>
				<verse number="13">එතැනින් පිටත් ව වෙරළ අසලින් ගොස්, රෙගියොනට පැමිණ, එක් දිනකට පසු දකුණු සුළඟ හැමූ බැවින්, දෙ වන දා පොතියොලට ආවෙමු.</verse>
				<verse number="14">එහි දී අපට සහෝදරයන් හමු වී, තමන් සමඟ සත් දවසක් නැවතී සිටින ලෙස ඔව්හු අපගෙන් ඉල්ලූ හ. ඉන්පසු අපි රෝමයට පැමිණියෙමු.</verse>
				<verse number="15">රෝමයේ සිටි සහෝදරයෝ අප ගැන අසා, එතැනින් අපියුස්ගේ වෙළඳාම්පළ ද තුන් තානායම ද දක්වා අප පෙරමඟට ආහ. පාවුලු ඔවුන් දැක, දෙවියන් වහන්සේට ස්තුති කොට, ධෛර්යවත් විය.</verse>
				<verse number="16">අප රෝමයට පැමිණි කල, තමා මුර කළ හේවායා සමඟ තනියම සිටින්නට පාවුලුට අවසර ලැබුණේ ය.</verse>
				<verse number="17">තුන් දවසකට පසු පාවුලු ජුදෙව් ප්‍රධානියන් රැස් කරවාගත්තේ ය. ඔවුන් රැස් වූ කල ඔහු ඔවුන්ට කතා කොට: “සහෝදරයෙනි, මම සෙනඟට වත් අපේ පරම්පරාගත සිරිත්විරිත් වලට වත් විරුද්ධ ව කිසි දෙයක් නොකෙළෙමි. එහෙත් හිරකරුවෙකු මෙන් ජෙරුසලමෙන් රෝමවරුන්ගේ අත්වලට භාර දෙනු ලැබීමි.</verse>
				<verse number="18">ඔව්හු මා ගැන විභාග කර මරණයට සුදුසු කිසි වරදක් කර නොතිබුණු බැවින් මා නිදහස් කරන්නට කැමැති වූ හ.</verse>
				<verse number="19">එහෙත් ජුදෙව්වරුන් ඊට විරුද්ධ ව කතා කළ කල්හි අධිරාජයාගේ විනිශ්චය ඉල්ලන්නට මට සිදු විය. එහෙත් එසේ කෙළේ මාගේ සෙනඟට, කිසි චෝදනාවක් කරන අදහසින් නොවේ.</verse>
				<verse number="20">මේ කාරණය නිසා ඔබ දකින්නට ද, ඔබ හමු වී, කතා කරන්නට ද ඔබ කැඳෙව්වෙමි. මන්ද, මා මේ දම්වැලෙන් බඳිනු ලැබ සිටින්නේ ඉශ්රායෙල් ජනතාවගේ බලාපොරොත්තුව නිසා ය”යි කී ය.</verse>
				<verse number="21">එවිට ඔව්හු කතා කොට: “ජුදයෙන් ඔබ ගැන අපට ලියුම් ලැබුණේ වත්, ආවා වූ සහෝදරයන්ගෙන් කවුරුන් වත් ඔබ ගැන කිසි නරකක් දැන්නුවේ වත් නැත.</verse>
				<verse number="22">එහෙත් ඔබේ මේ ලබ්ධිය ගැන සියලු තැන්හි විරුද්ධ ව කතා කරන බව නම් අපි දනිමු. එබැවින් ඔබේ අදහස කුමක් දැ යි අසන්නට අපි කැමැත්තෙමු”යි කී හ.</verse>
				<verse number="23">තවද ඔවුන් පාවුලුට දවසක් නියම කොට බොහෝ දෙනෙක් එදා ඔහුගේ නවාතැනට ආහ; ඔහු උදය පටන් සවස දක්වා දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට සාක්ෂි දෙමින්, ජේසුස් වහන්සේ ගැන ඔවුන් පහදන පිණිස මෝසෙස්ගේ ව්‍යවස්ථාවලියෙන් හා දිවැසිවරයන්ගේ පොත්වලින් කාරණා තේරුම් කර දුන්නේ ය.</verse>
				<verse number="24">ඔහු කී දේ සමහරු විශ්වාස කළහ; සමහරු අවිශ්වාස කළහ.</verse>
				<verse number="25">ඔවුන් අතර මතභේද ඇති වූ බැවින් ඔව්හු යන්නට ගියහ. එසේ යන්නට පෙර පාවුලු මේ කරුණ කී ය. එනම්: “දිවැසිවර යෙසායා මඟින් ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබේ පියවරුන්ට කී දේ කොපමණ සැබෑ ද?</verse>
				<verse number="26">ඔබගේ ජනතාව වෙත ගොස් මෙසේ කියන්න: ‘අස අසාත් ඔබ කිසි සේත් තේරුම් නොගන්නහු ය; දැක දැකත් කිසි සේත් නොපැහැදෙන්නහු ය.</verse>
				<verse number="27">මන්ද, මේ සෙනඟගේ සිත් අඳුරු ය, ඔව්හු කන් හොඳට වසා ගෙන, ඇස් පියා ගෙන සිටිති. එසේ කර ඇත්තේ, තමන්ගේ ඇස්වලින් නොදක්නා පිණිසත්, කන්වලින් නොඅසන පිණිසත්, සිතින් තේරුම් ගෙන නොහැරෙන පිණිසත්, මා විසින් ඔවුන් සුව නොකරන පිණිසත් ය.’ “</verse>
				<verse number="28">පාවුලු තවදුරටත් කතා කරමින්: “එහෙයින් දෙවියන් වහන්සේගේ මේ ගැළවීම විජාතීන් වෙත යවන ලද බව තේරුම්ගන්න. ඔවුන් එයට සවන් දෙනු ඇතැ”යි කියා කතාව නිම කෙළේ ය.</verse>
				<verse number="29">ඔහු මෙසේ කී පසු ජුදෙව්වෝ තමන් අතරෙහි තදින් විවාද කරමින් යන්නට ගියහ.</verse>
				<verse number="30">පාවුලු තමා කුලියට ගත් ගෙයි දෑවුරුද්දක් වාසය කරමින්, තමා වෙත පැමිණි සියල්ලන් පිළිගෙන,</verse>
				<verse number="31">නොබිය ව, ප්‍රසිද්ධියේ ම, දෙවියන් වහන්සේගේ රාජ්‍යය දේශනා කරමින්, ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ගැන අනුශාසනා කෙළේ ය.</verse>
			</chapter>
		</book>
		<book number="45">
			<chapter number="1">
				<verse number="1">ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ දාසයෙකු වන, උන් වහන්සේගේ සුබ අස්න දේශනා කිරීම පිණිස ප්‍රේරිතවරයෙකු වීමට දේව වරමින් කැඳවීම ලත්, පාවුලු වෙ‍තිනි.</verse>
				<verse number="2">බොහෝ කලකට පෙර දෙවියන් වහන්සේ ස්වකීය දිවැසිවරයන් මඟින් ඒ සුබ අස්න ගැන ශුද්ධ ලියවිල්ලෙහි පොරොන්දු දුන් සේක.</verse>
				<verse number="3">ඒ සුබ අස්න උන් වහන්සේගේ පුත්‍ර වූ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ ව ය. පරපුර අනුව බලන විට උන් වහන්සේ දාවිත් රජුගේ පෙළපතෙහි උපන් සේක;</verse>
				<verse number="4">එහෙත්, පාරිශුද්ධභාවයේ ආත්මයාණන් කරණකොටගෙන මරණයෙන් උත්ථාන වීම නිසා දේව පුත්‍රයාණන් බවට ප්‍රබල සාක්ෂියක් වූ සේක.</verse>
				<verse number="5">සියලු ජාතීන් ඇදහිල්ලට පමුණුවන පිණිස ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ප්‍රේරිතවරයෙකු වීමේ වරම මම උන් වහන්සේ අතින් ලදිමි.</verse>
				<verse number="6">ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගෙන් කැඳවීම ලත් බැවින්, ඔබ ද ඒ ඇදහිලිවතුන්ගේ සංබ්‍යාවට අයිති ය.</verse>
				<verse number="7">දෙවියන් වහන්සේට ප්‍රිය වූ, උන් වහන්සේට කැප කරන ලද සෙනඟක් වන රෝමයෙහි සිටින ඔබ හැම දෙනා වෙත මෙය ලියා එවමි. අපගේ පියාණන් වන දෙවියන් වහන්සේගෙන් ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද කරුණාවත් ශාන්තියත් ඔබට වේ වා!</verse>
				<verse number="8">පළමුකොට, ඔබගේ ඇදහිල්ල ලොව පුරා පතළ වී ඇති බැවින් ඔබ සියල්ලන් ගැන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් මාගේ දෙවියන් වහන්සේට තුති පුද කරමි.</verse>
				<verse number="9">ස්වකීය පුත්‍රයාණන්ගේ සුබ අස්න දේශනා කිරීමෙන් මා මුළු සිතින් සේවය කරන දෙවියන් වහන්සේ ම, මෙහි මා කියන දේ සත්‍ය බවට සාක්ෂි දරනු ඇත.</verse>
				<verse number="10">මාගේ යාච්ඤාවල දී නිරන්තරයෙන් ඔබ ගැන සඳහන් කරන විට දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් ඔබ දැකගැන්මට ඊමේ අවස්ථාවක් සැලසෙන ලෙස මා නිතර ම අයැදින බව දෙවියන් වහන්සේ දන්නා සේක.</verse>
				<verse number="11">ඔබ ධෛර්යවත් කරවන පිණිස යම්කිසි ආධ්‍යාත්මික ආශීර්වාදයක් හවුලේ භුක්ති විඳීමට ඔබ දැකගැනීමේ තද ආශාවක් මට ඇත.</verse>
				<verse number="12">ඉන් මා අදහස් කරන්නේ, මාගේ ඇදහිල්ල නිසා ඔබ ද ඔබේ ඇදහිල්ල නිසා මා ද ශක්තිසම්පන්න වීම ය.</verse>
				<verse number="13">මාගේ සහෝදරවරුනි, අන්‍ය ජාතීන් අතර මෙන් ඔබ අතරෙහිත් යම් ප්‍රතිඵලයක් අත්පත් කරගන්නා පිණිස, මම ඔබ වෙත ඊමට බොහෝ වර උත්සාහ දැරීමි. එහෙත් මේ වන තුරු එය සාර්ථක නො වූ බව ඔබට දන්වනු කැමැත්තෙමි.</verse>
				<verse number="14">ග්‍රීකයන් හා අන්‍යයන් ද උගතුන් හා නූගතුන් ද සම්බන්ධයෙන් මට වගකීමක් ඇත.</verse>
				<verse number="15">රෝමයෙහි වසන ඔබටත් සුබ අස්න දේශනා කිරීමෙහි දැඩි ආශාවක් මට ඇත්තේ ඒ නිසා ය.</verse>
				<verse number="16">මම සුබ අස්න ගැන කිසිසේත් ලජ්ජා නොවෙමි. මන්ද, අදහාගන්නා සියල්ලන්ට, පළමුකොට ජුදෙව්වරුන්ට ද, දෙවනු ව ග්‍රීකයන්ට ද එය ගැළවීම සලසන දෙවියන් වහන්සේගේ බලය වන හෙයිනි.</verse>
				<verse number="17">මනුෂ්‍යයන් දමිටු කරනු ලැබීමේ මාර්ගය, මුල සිට අග දක්වා ම ඇදහිල්ලෙන් වන බව දැන් සුබ අස්න නිසා එළිදරව් වී ඇත. ශුද්ධ ලියවිලිවල සඳහන් පරිදි: “ඇදහිල්ලෙන් දමිටු බවට පැමිණි අය ජීවනය අත්කරගනිති.”</verse>
				<verse number="18">අධර්මයෙන් සත්‍යයට අකුල් හෙළන මිනිසුන්ගේ අභක්තිය හා අධර්මිෂ්ඨකමට විරුද්ධ ව දේව උදහස ස්වර්ගයෙන් ප්‍රකාශ වන්නේ ය.</verse>
				<verse number="19">දෙවියන් වහන්සේ ගැන දත හැකි සියල්ල ඔවුන් ඉදිරියේ සක්සුදක් සේ පැහැදිලි ය; දෙවියන් වහන්සේ ම එය ඔවුනට අනාවරණය කර දී ඇත.</verse>
				<verse number="20">ලෝකය මැවූ තැන් සිට, ඇසට නොපෙනෙන උන් වහන්සේගේ දිව්‍ය ලක්ෂණ වන උන් වහන්සේගේ සදාතන බල මහිමයත් දේවත්වයත් ඔවුන්ගේ මනසට පෙනී යන පරිදි උන් වහන්සේගේ මැවිලිවලින් ප්‍රකාශ කර ඇත. එබැවින් ඔවුන්ගේ නිදහසට ඉදිරිපත් කළ හැකි කරුණු කිසිවක් නැත.</verse>
				<verse number="21">දෙවියන් වහන්සේ ගැන දැන දැනත්, උන් වහන්සේට පිදිය යුතු ගෞරවය වත්, තුතිපැසසුම් වත් ඔව්හු උන් වහන්සේට නොපිදූ හ. මෙසේ ඔවුන්ගේ තර්ක විතර්ක නිස්සාර බවට පත් වී, ඔවුන්ගේ මුළා ව ගිය මනස අඳුරු විය.</verse>
				<verse number="22">සිය ප්‍රඥාව ගැන පුරසාරම් දෙඩූ ඔවුන් අඥානයන් වී ඇත.</verse>
				<verse number="23">ඔව්හු අජරාමර දෙවියන් වහන්සේගේ තේජශ්‍රීය වෙනුවට, ජරාපත් වන මිනිසුන්ගේ ද පක්ෂීන්ගේ ද සිව්පාවුන්ගේ ද උරගයන්ගේ ද සමානකම් ඇති පිළිරූ යොදාගත්හ.</verse>
				<verse number="24">එබැවින් දෙවියන් වහන්සේ ඔවුන්ගේ මාංසික තෘෂ්ණාවලට ද කායික දූෂණවලට ද ඔවුන් පාවා දුන් සේක.</verse>
				<verse number="25">එසේ කෙළේ ඔවුන් දෙවියන් වහන්සේගේ සත්‍යය වෙනුවට මිථ්‍යාවක් වැළඳ ගෙන, මැවුම්කාරයාණන් වෙනුවට මැවිල්ලට වැඳුම්පිදුම් හා ගැතිකම් කළ නිසා ය. උන් වහන්සේට සදහට ම ප්‍රශංසා වේ වා! ආමෙන්.</verse>
				<verse number="26">ඒ නිසා දෙවියන් වහන්සේ ඔවුන් නින්දිත කාම තෘෂ්ණාවලට වහල් කළ සේක. ඔවුන්ගේ ස්ත්‍රීහු ස්වාභාවික පුරුෂ සේවනය වෙනුවට තම තමන් අතර අස්වාභාවික ස්ත්‍රී සේවනයෙහි ම යෙදුණා හ.</verse>
				<verse number="27">එසේ ම පුරුෂයෝ ද ස්වාභාවික ස්ත්‍රී සේවනය වෙනුවට තම තමන් අතර කාම තෘෂ්ණාවෙන් දැවුණෝ ය; පුරුෂයන් සමඟ නින්දිත ක්‍රියාවල යෙදී, තමන්ගේ දුරාචාරයට සුදුසු දඬුවම් ලැබූ හ.</verse>
				<verse number="28">තවද ඔවුන් සිය බුද්ධියෙහි දෙවියන් වහන්සේට තැනක් දීම නුසුදුසු යයි සිතූ බැවින්, නුසුදුසු දේ කරන පිණිස තමන්ගේ ම දූෂිත චේතනාවන්ට ගොදුරු වීමට දෙවියන් වහන්සේ ඉඩ හැරිය සේක.</verse>
				<verse number="29">ඔව්හු සියලු ආකාර දුෂ්ටකමින් ද නපුරෙන් ද ලෝභයෙන් හා ද්වේෂයෙන් ද ඊර්ෂ්‍යාවෙන් ද මිනී මැරීමෙන් ද දබරයෙන් ද වංචාවෙන් ද ක්‍රෝධයෙන් ද පූර්ණ ව සිටිති. ඔව්හු ඕපාදූප දොඩන, කේළාම් කියන,</verse>
				<verse number="30">දෙවියන් වහන්සේට වෛර කරන, නින්දා කරන, උඩඟු වූ, පාරට්ටු කරගන්න, නපුරු උපා යොදන, මව්පියන්ට අකීකරු වන,</verse>
				<verse number="31">පොරොන්දු කඩ කරන, අඥාන වූ, අනුකම්පාව නැති, දයාව නැති, අය ව සිටිති.</verse>
				<verse number="32">මෙබඳු දේ කරන්නෝ මරණයට සුදුසු ය, යන දෙවියන් වහන්සේගේ නියෝගය දැන දැනත් ඒ දේ ම කරති. එපමණක් නොව, ඒ දේ කරන අයට අනුබල ද දෙති.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">එබැවින් අන්‍යයන් විනිශ්චය කරන ඔබ කවරෙක් වුව ද, ඔබේ නිදහසට උත්තරයක් ඔබට නැත. මන්ද, අන් කෙනෙකු විනිශ්චය කරන විට ඔහු කරන දේ ම ඔබ ද කරන නිසා ඔබ වරදකරුවෙකු බවට තීන්දු වී සිටින්නෙහි ය.</verse>
				<verse number="2">එවැනි දේ කරන්නන්ට විරුද්ධ ව දෙවියන් වහන්සේගේ විනිශ්චය සාධාරණ බව අපි දනිමු.</verse>
				<verse number="3">ඔබ එබඳු දේ කරන්නන් විනිශ්චය කරමින්, ඔබත් එම දේ ම කරන්නෙහි නම්, ඔබ දෙවියන් වහන්සේගේ විනිශ්චයෙන් බේරෙනු ඇතැ යි සිතන්නෙහි ද?</verse>
				<verse number="4">නැත්නම්, දෙවියන් වහන්සේගේ මහා කරුණාව, ශාන්තිය හා ඉවසීම සුළු කොට ඔබ සිතන්නෙහි ද? ඒ දිව්‍ය කරුණාවේ අරමුණ පසුතැවී සිත් හරවා ගැනීමකට ඔබ පැමිණවීම බව දන්නේ නැද් ද?</verse>
				<verse number="5">එහෙත් ඔබ මුරණ්ඩු ය; දරදඬු සිතක් ඔබට ඇත. දෙවියන් වහන්සේ ස්වකීය සාධාරණ විනිශ්චය එළිදරව් කරන්නට යන දේව උදහසේ දවසට ඔබ දුර්විපාක රැස් කරන්නෙහි ද?</verse>
				<verse number="6">ඒ දවසේ දී උන් වහන්සේ හැම මිනිසෙකුට ම ඔහුගේ ක්‍රියා අනුව විපාක නියම කරනු ඇත.</verse>
				<verse number="7">නොපසුබස්නා වීර්යයෙන් යහපත කරමින් කීර්තිය ද ගෞරවය ද අමරණීයත්වය ද සොයන්නන්ට උන් වහන්සේ සදාතන ජීවනය දෙන සේක.</verse>
				<verse number="8">ආත්මාර්ථකාමී වූ, සත්‍යයට පිටුපා අධර්මයට හිස නැමූ, අය මත දේව උදහස හා කෝපය ඇවිලෙයි.</verse>
				<verse number="9">ජුදෙව්වා වේවා, ග්‍රීකයා වේවා, නපුර කරන කා හට වුවත්, පළමුකොට ජුදෙව්වාට ද, දෙවනු ව ග්‍රීකයාට ද ප්‍රතිවිපාකය, පීඩාව හා සිත් වේදනාව වන්නේ ය.</verse>
				<verse number="10">යහපත කරන කා හට වුවත්, පළමු ව ජුදෙව්වාට ද, එලෙස ම ග්‍රීකයාට ද, ඔහුගේ ප්‍රතිවිපාකය, කීර්තිය, ගෞරවය හා ශාන්තිය වන්නේ ය.</verse>
				<verse number="11">දෙවියන් වහන්සේ මිනිසාගේ තරාතිරම් නොබලන සේක.</verse>
				<verse number="12">මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් බැහැර ව පව් කරන අය ඒ ව්‍යවස්ථාව අනුව විනිශ්චයක් නොලබා විනාශ වන්නෝ ය. මෝසෙස්ගේ ව්‍යවස්ථාව දැනගෙනත් පව් කරන අය ඒ ව්‍යවස්ථාවෙන් ම විනිශ්චය කරනු ලබති.</verse>
				<verse number="13">දෙවියන් වහන්සේ ඉදිරියෙහි යමෙකු දමිටු බවට පත්වන්නේ ව්‍යවස්ථාව ඇසීමෙන් නොව එය පිළිපැදීමෙනි.</verse>
				<verse number="14">මෝසෙස්ගේ ව්‍යවස්ථාව නොදත් විජාතිකයන් එහි නියම වූ දේ සහජයෙන් ම පිළිපදින විට, ඔවුන් ඒ ව්‍යවස්ථාව නොදත් නමුත්, ඔවුන්ගේ සිත ම ඔවුන්ට නීතිය වී ඇත.</verse>
				<verse number="15">ව්‍යවස්ථාවේ නියමයන් ඔවුන්ගේ සිත්හි ලියවී ඇති බව ඔවුන්ගේ පැවැත්මෙන් පෙනේ. ඔවුන්ගේ හෘදය සාක්ෂිය එය සැබෑ බව සහතික කරයි. මන්ද, ඔවුන්ගේ සිතුවිලි සමහර විටක ඔවුන් සදොස් බවත් සමහර විටක ඔවුන් නිදොස් බවත් හඟවන බැවිනි. දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ ලවා මිනිසුන්ගේ සිත්වල අබිරහස් විනිශ්චය කරවන සේක. මාගේ සුබ අස්න මෙය යි.</verse>
				<verse number="16">***</verse>
				<verse number="17">ඔබ ජුදෙව් නාමය දරන්නහු ය; ඔබ ව්‍යවස්ථාවෙහි පිහිටා දෙවියන් වහන්සේ ගැන පාරට්ටු කරන්නහු ය.</verse>
				<verse number="18">ඔබ උන් වහන්සේගේ කැමැත්ත දන්නහු ය; ඔබ ව්‍යවස්ථාවෙහි ඉගෙනීම ලැබ හරි දෙය අනුමත කරන්නහු ය.</verse>
				<verse number="19">ඔබ එය අන්ධයන්ට මඟපෙන්වන්නෙකු ද අඳුරෙහි වසන්නවුන්ට ආලෝකයක් ද</verse>
				<verse number="20">නූගතුන්ට ගුරුවරයෙකු ද දැනුම් නැත්තවුන්ට උපදේශකයෙකු ද බව නිසැක ව විශ්වාස කරන්නහු ය. ව්‍යවස්ථාවෙහි සැබෑ ප්‍රඥාව හා සත්‍යය ගැබ් වී ඇති බව ඔබට සහතික ය.</verse>
				<verse number="21">ඔබ අන්‍යයන්ට ගුරූපදේශ දෙන්නහු ය; එහෙත් ඔබ තමන්ට ම ගුරූපදේශ නො දෙන්නේ මන් ද? “සොරකම් නොකරව”යි ඔබ දේශනා කරන්නහු ය, එහෙත් ඔබ ම සොරකම් කරන්නහු ද?</verse>
				<verse number="22">“කාමමිථ්‍යාචාරය නොකරන්නැ”යි ඔබ කියන්නහු ය; එහෙත් ඔබ ම කාමමිථ්‍යාචාරය කරන්නහු ද? ඔබ රූප නමස්කාරය පිළිකුල් කරන්නහු ය; එහෙත්, ඔබ ම දේවගෘහයන් කොල්ල කන්නහු ද?</verse>
				<verse number="23">ඔබ ව්‍යවස්ථාව ගැන පාරට්ටු කරන්නහු ය; එහෙත්, ඔබ ම ව්‍යවස්ථාව කඩ කිරීමෙන් දෙවියන් වහන්සේට අගෞරව කරන්නහු ද?</verse>
				<verse number="24">එබැවින් ශුද්ධ ලියවිලිවල කියා ඇති පරිදි: “ඔබ නිසා විජාතීන් අතර දෙවියන් වහන්සේගේ නාමය අපකීර්තියට පත් වී ඇත.”</verse>
				<verse number="25">ඔබ ව්‍යවස්ථාව පිළිපදින්නහු නම් ඔබේ චර්මඡේදන පිළිවෙ‍තින් වැඩක් ඇත. එහෙත්, ඔබ ව්‍යවස්ථාව කඩ කරන්නාහු නම්, ඔබේ චර්මඡේදන පිළිවෙතෙහි තේරුමක් නැත.</verse>
				<verse number="26">චර්මඡේදනය නොලත් කෙනෙක් ව්‍යවස්ථාවෙහි නියෝග පිළිපදිත් නම් ඔහු චර්මඡේදනය නොලැබුවත් එය ලත් කෙනෙකු මෙන් සලකනු නොලැබේ ද?</verse>
				<verse number="27">ශාරීරික වශයෙන් චර්මඡේදනය නොලැබූව ද, ව්‍යවස්ථාව පිළිපදින තැනැත්තා විසින්, ලියවිල්ලත් චර්මඡේදනයත් ඇතිව ව්‍යවස්ථාව කඩ කරන ඔබ විනිශ්චය කරනු ලබන්නේ ය.</verse>
				<verse number="28">පෙනුමට පමණක් වූ ජුදෙව්වා සැබෑ ජුදෙව්වෙක් නොවේ. චර්මඡේදනය ද බාහිර ශාරීරික කරුණක් නොවේ.</verse>
				<verse number="29">සැබෑ ජුදෙව්වා හඳුනාගනු ලබන්නේ අභ්‍යන්තර ලක්ෂණවලිනි. සැබෑ චර්මඡේදනය ද වනාහි සිතේ පවතින දෙයකි; එය නීතිගත දෙයක් නොව, ආධ්‍යාත්මික දෙයකි. එවැනි ජුදෙව්වෙකුට ප්‍රශංසාව ලැබෙන්නේ මිනිසාගෙන් නොව, දෙවියන් වහන්සේගෙන් ය.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">එසේ නම්, ජුදෙව්වාට විශේෂ වාසියක් ඇද් ද? චර්මඡේදනයෙන් පලක් ඇද් ද?</verse>
				<verse number="2">එසේ ය, බොහෝ සේ ඇත. දෙවියන් වහන්සේගේ පණිවුඩය භාර කරන ලද්දේ ජුදෙව්වරුන්ට බව මුලින් ම කිව යුතු ය.</verse>
				<verse number="3">හොඳයි, සමහරෙක් එය අවිශ්වාස කළාහු නම්, ඒ අවිශ්වාසය නිසා දෙවියන් වහන්සේගේ විශ්වාසවන්තකම නිෂ්ප්‍රභ වන්නේ ද?</verse>
				<verse number="4">සැබැවින් ම එසේ නොවනු ඇත. මිනිසුන් හැම දෙනා ම බොරුකාරයන් වුවත්, දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ බව නිසැක ය. ඒ බවට ශුද්ධ ලියවිල්ල මෙසේ කියයි: “ඔබ වදාරන වචනයෙන් ඔබේ ධර්මිෂ්ඨ බව ප්‍රකාශ වන්නේ ය, ඔබ විනිශ්චය කරනු ලබන කල ඔබට ජය අත් වන්නේ ය.”</verse>
				<verse number="5">අපේ අධර්මිෂ්ඨකම නිසා දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම කැපී පෙනේ නම්, අපි කුමක් කියමු ද? අපට දඬුවම් දෙන විට දෙවියන් වහන්සේ අසාධාරණ යයි ලෝක ව්‍යවහාරය අනුව කිය හැකි ද?</verse>
				<verse number="6">කිසි සේත් ම කිව නොහැකි ය. දෙවියන් වහන්සේ අසාධාරණ නම්, උන් වහන්සේ ලෝකය විනිශ්චය කරන්නේ කෙසේ ද?</verse>
				<verse number="7">ඉතින්, මාගේ අසත්‍යය නිසා දෙවියන් වහන්සේගේ සත්‍යය වඩාත් කැපී පෙනී, එය උන් වහන්සේගේ ගෞරවයට ඉවහල් වේ නම්, මා පව්කරුවෙකැ යි තීන්දු කරන්නේ මන් ද?</verse>
				<verse number="8">එසේ නම්: “යහපත සිදුවන ලෙස නපුර කරමු”යි කියමු ද? අප එසේ කියති යි සමහරු අපට අපහාස කරති. එවැනි අයට ලැබිය යුතු දඬුවම ලැබෙනු ඇත.</verse>
				<verse number="9">හොඳයි, එසේ නම්, ජුදෙව්වරුන් වන අප විජාතීන්ට වඩා උසස් ද? කොහෙත් ම නැත. ජුදෙව්වරුන් ද විජාතීන් ද යන දෙපක්ෂය ම පාපයේ බලයට යටත් වී ඇතැ යි අපි කලින් පෙන්වා දුනිමු.</verse>
				<verse number="10">ඒ ගැන ශුද්ධ ලියවිල්ල මෙසේ කියයි: “ධර්මිෂ්ඨ වූ කිසිවෙක් නැත, එක් කෙනෙක් වත් නැත;</verse>
				<verse number="11">හරි දැනුම ඇති එක් කෙනෙක් වත් නැත; දෙවියන් වහන්සේ සොයන එක් කෙනෙක් වත් නැත.</verse>
				<verse number="12">හැම දෙන ම මුළා ව ගොස් සිටිති, හැම දෙන ම එක සේ නොමඟ ගොස් සිටිති. යහපත කරන කිසිවෙක් නැත, එක් කෙනෙක් වත් නැත.</verse>
				<verse number="13">
					ඔවුන්ගේ උගුර විවර වූ මිනී වළක් වැනි ය.
					ඔව්හු සිය දිව්වලින් මුසාවාද පවසති. ඔවුන්ගේ තොල් යට පොළොං විස ඇත.
				</verse>
				<verse number="14">
					ඔවුන්ගේ මුඛය කටුක සාපයෙන් පිරී ඇත.
				</verse>
				<verse number="15">
					ඔවුන්ගේ පාද ලේ වැගිරීමට යුහුව දුවයි.
				</verse>
				<verse number="16">ඔවුන් යන යන තැන විනාශයත් කාලකණ්ණිකමත් ඇත.</verse>
				<verse number="17">සාම මාවත ගැන ඔවුන්ට දැනුමක් නැත,</verse>
				<verse number="18">
					ඔවුන්ගේ ඇස් ඉදිරියේ දේව බිය නොමැත.”
				</verse>
				<verse number="19">ඉදින් ව්‍යවස්ථාවෙහි කියන ලද සියල්ල ම ව්‍යවස්ථාව යටතෙහි සිටින්නන්ට කියන ලද බව අපි දනිමුව. එසේ වන්නේ සියල්ලන්ගේ කටවල් පියවනු ලබන පිණිසත්, මුළු ලෝකයා දෙවියන් වහන්සේගේ විනිශ්චයට යටත් කරනු ලබන පිණිසත් ය.</verse>
				<verse number="20">ඊට හේතුව මේ ය; ව්‍යවස්ථාව පිළිපැදීමෙන් කිසි ම මනුෂ්‍යයෙක් දමිටු බවට පත් කරනු නොලබයි. ව්‍යවස්ථාවෙන් සිදුවන්නේ පාපය පිළිබඳ හැඟීම ඇති කිරීම ය.</verse>
				<verse number="21">එහෙත්, දැන් මිනිසුන් දමිටු බවට පමුණුවාලීම පිළිබඳ දෙවියන් වහන්සේගේ ක්‍රියා මාර්ගය එළිදරව් වී තිබේ. ව්‍යවස්ථාව හා දිවැසාවලිය ඊට සාක්ෂි දුන් නමුත් එය කිසි සේත් ව්‍යවස්ථාව පිට රඳා නැත.</verse>
				<verse number="22">ඒ වනාහි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන අදහන සියල්ලන් දෙවියන් වහන්සේ විසින් දමිටු බවට පමුණුවනු ලැබීමේ මාර්ගය වේ. එය කිසි වෙනසක් නැති ව, අදහන්නා වූ හැම දෙනාට ම ලබාගත හැකි ය.</verse>
				<verse number="23">සියල්ලෝ ම පව් කොට දෙවියන් වහන්සේගේ ගැළවීමේ මාර්ගයෙන් ඉවත් වී සිටිති.</verse>
				<verse number="24">දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ අත් කර දුන් ගැළවීම කරණකොටගෙන, සියල්ලෝ ම නොමිලයේ දමිටු බවට පත් කරනු ලැබ සිටිති.</verse>
				<verse number="25">ඇදහිල්ලෙන් පව් කමාව ලබනු සඳහා, ක්‍රිස්තුන් වහන්සේ ස්වකීය මරණයෙන් පව් නසන පූජාවක් වීමට දෙවියන් වහන්සේ නියම කළ සේක. එසේ කෙළේ, උන් වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වන පිණිස ය. පෙර කාලවල උන් වහන්සේගේ ඉවසීමෙන්, මිනිසුන්ගේ පව් ගණන් නොගෙන හැරිය සේක. එහෙත් මේ කාලයේ දී උන් වහන්සේ ධර්මිෂ්ඨකම පෙන්වන පිණිස මිනිසුන්ගේ පව් සලකා බලන සේක. දෙවියන් වහන්සේ මෙලෙස කිරීමෙන් උන් වහන්සේ ධර්මිෂ්ඨ බවත්, ක්‍රිස්තුන් වහන්සේ අදහන කවරෙකු වුවත් දමිටු බවට පමුණුවන බවත් පෙන්වන සේක.</verse>
				<verse number="26">***</verse>
				<verse number="27">එසේ නම්, අපට පුරසාරම් දෙඩීමට ඉඩක් ඇද් ද? කොහෙත් ම නැත. එසේ කියන්නේ කුමන ප්‍රතිපත්තියක් අනුව ද? ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රතිපත්ති අනුව ද? එසේ නොව ඇදහීමේ ප්‍රතිපත්තිය අනුව ය.</verse>
				<verse number="28">මන්ද, මනුෂ්‍යයෙකු දමිටු බවට පමුණුවනු ලබන්නේ ව්‍යවස්ථාවේ නියමයන් පිළිපැදීමෙන් නොව, ඇදහිල්ලෙන් පමණක් බව අපි නිගමනය කරමු.</verse>
				<verse number="29">දෙවියන් වහන්සේ ජුදෙව්වරුන්ගේ දෙවියන් වහන්සේ පමණක් ද? විජාතීන්ගේත් දෙවියන් වහන්සේ නොවන සේක් ද? එසේ ය, විජාතීන්ගේත් දෙවියන් වහන්සේ ය.</verse>
				<verse number="30">මන්ද, වැඩ සිටින්නේ එක ම දෙවියන් වහන්සේ ය. උන් වහන්සේ චර්මඡේදිතයන් ඔවුන්ගේ ඇදහීම නිසාත්, එසේ ම අචර්මඡේදිතයන් ඔවුන්ගේ ඇදහීම නිසාත්, දමිටු බවට පමුණුවන සේක.</verse>
				<verse number="31">එසේ නම් ඇදහිල්ල අවධාරණය කිරීමෙන් අපි ව්‍යවස්ථාව අවලංගු කරමු ද? කොහෙත් ම නැත. අපි ව්‍යවස්ථාව වඩාත් තහවුරු කරමු.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">එසේ නම්, අපේ ජාතියේ පියා වූ ආබ්‍රහම් ගැන අපි කුමක් කියමු ද? ඔහු දමිටු බවට පමුණුවනු ලැබුවේ කෙසේ ද?</verse>
				<verse number="2">ආබ්‍රහම් සිය ක්‍රියා නිසා දමිටු බවට පමුණුවනු ලැබුවේ නම්, පාරට්ටු කරගැනීමට හේතුවක් ඔහුට ඇත. එහෙත් දෙවියන් වහන්සේ ඉදිරියෙහි එසේ කිරීමට ඉඩක් නැත.</verse>
				<verse number="3">ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇති පරිදි: “ආබ්‍රහම් දෙවියන් වහන්සේ අදහාගත්තේ ය; ඒ ඇදහිල්ල නිසා ඔහු දමිටු කෙනෙකු බව උන් වහන්සේ පිළිගත් සේක.”</verse>
				<verse number="4">යම් වැඩක් කරන කෙනෙකුට දෙන වේතනය පාරිතෝෂික දීමනාවක් හැටියට නොව, ඔහුට ගෙවිය යුත්තක් හැටියට සලකනු ලැබේ.</verse>
				<verse number="5">එහෙත් එවැනි යමක් නොකරන අභක්තිකයන් දමිටු බවට පමුණුවන දෙවියන් වහන්සේ අදහන තැනැත්තා, ඔහුගේ ඇදහිල්ල නිසා දමිටු ලෙස පිළිගනු ලැබේ.</verse>
				<verse number="6">ඒ හැටියට, කෙනෙකුගේ පුණ්‍ය ක්‍රියා ගණන් නොගෙන දෙවියන් වහන්සේ විසින් දමිටු බවට පමුණුවනු ලබන මිනිසාගේ භාග්‍යවන්තකම ගැන දාවිත් රජු මෙසේ කියයි:</verse>
				<verse number="7">
					“තමන්ගේ අධාර්මික ක්‍රියාවලට කමාවත්, පාපවලින් නිදහසත් ලැබූ අය භාග්‍යවන්තයෝ ය.
				</verse>
				<verse number="8">සමිඳාණන් වහන්සේ විසින් පාපය ගණන් නොගෙන හරිනු ලබන තැනැත්තා භාග්‍යවන්ත ය.”</verse>
				<verse number="9">ඉතින්, මේ භාග්‍යවන්තකම දෙන ලද්දේ චර්මඡේදනය ලැබූ අයට පමණක් ද? නැතහොත් චර්මඡේදනය නොලැබූ අයටත් ද? “ආබ්‍රහම්ගේ ඇදහිල්ල ඔහුගේ ධර්මිෂ්ඨකම වශයෙන් දෙවියන් වහන්සේ පිළිගත් සේකැ”යි අපි කීවෙමු.</verse>
				<verse number="10">එසේ පිළිගනු ලැබුවේ චර්මඡේදනය ලබා සිටිය දී ද, නැතහොත් නොලබා සිටිය දී ද? ලබා සිටිය දී නොව, එය නොලබා සිටිය දී ය.</verse>
				<verse number="11">ඔහු චර්මඡේදනය පසුව ලැබුවේ, චර්මඡේදනය නොලබා සිටි අවස්ථාවේ දී, ඔහුගේ ඇදහිල්ල දමිටුකම වශයෙන් දෙවියන් වහන්සේ පිළිගත් බව සහතික කිරීමේ සලකුණක් වශයෙනි. මෙසේ ඔහු එක අතකින් ඇදහිල්ල නිසා දමිටු කරනු ලැබූ අය වශයෙන්, දෙවියන් වහන්සේ පිළිගත්, චර්මඡේදනය නොලැබූ අයගේ පියාණෝ ය.</verse>
				<verse number="12">අනෙක් අතට ඔහු චර්මඡේදනය ලැබූ අයගේ ද පියාණෝ ය. ඒ අය නම්, චර්මඡේදනය ලැබීමට පෙර ඔහුගේ ඇදහිල්ලේ ජීවිතය අනුගමනය කරන අය වේ.</verse>
				<verse number="13">ආබ්‍රහම්ට හෝ ඔහුගේ දරු පෙළපතට හෝ ලෝකය උරුම වන්නේ ය යන පොරොන්දුව කිසි සේත් නීතිය පිළිපැදීම නිසා ඇති වූවක් නොවේ. එය ඇති වූයේ ඇදහිල්ල නිසා සිදු වන දමිටු බව හේතුකොටගෙන ය.</verse>
				<verse number="14">ඒ උරුමය හිමි වන්නේ නීතිය පිළිපදින අයට පමණක් නම්, ඇදහිල්ල නිරර්ථක ය, පොරොන්දුව නිෂ්ඵල ය.</verse>
				<verse number="15">නීතිය දේව උදහස නිපදවයි; නීතිය නැති තැන නීතිය කඩ කිරීමකුත් නැත.</verse>
				<verse number="16">මේ නිසා දේව පොරොන්දුව වරප්‍රසාදයේ ප්‍රතිඵලයක් වන පිණිස එය ඇදහිල්ල මත රඳා පවතී. එසේ වන්නේ, ආබ්‍රහම්ගේ දරු පෙළපතට අයත් හැමට ම, එනම්, නීතිය අනුව ජීවත් වන අයට පමණක් නොව, අපගේ පියාණන් වන ආබ්‍රහම්ගේ ඇදහිල්ල අනුව ජීවත් වන අයටත්, ඒ පොරොන්දුව වලංගු වන බව සහතික කරන පිණිස ය.</verse>
				<verse number="17">“මම ඔබ බොහෝ ජාතීන්ගේ පියා කොට පත් කෙළෙමි”යි ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත්තේ මේ නිසා ය. ඒ පොරොන්දුව ආබ්‍රහම් ලැබුවේ තමා අදහන, මළවුන් හට ජීවිතය දෙන, නැති දේ ඇති කරන, දෙවියන් වහන්සේගෙන් ය.</verse>
				<verse number="18">බලාපොරොත්තු රහිත තත්ත්වයක දී වුව ද ඔහු දෙවියන් වහන්සේගේ පොරොන්දුව විශ්වාස කෙළේ ය. ඔහු බොහෝ ජාතීන්ගේ පියා වූයේ, “එබඳු මහා පෙළපතක් ඔබට ඇති වන්නේ ය” යන කීම පරිදි ය.</verse>
				<verse number="19">එවකට ඔහු අවුරුදු සියයක් පමණ වයස් ගත ව සිය පුරුෂ ශක්තියත් සාරාගේ පිළිසිඳ ගැනීමේ ශක්තියත් අප්‍රාණික ලෙස ඔහුට පෙනුණු නමුත්, ඔහුගේ ඇදහිල්ල කිසි සේත් නොසෙල්විණි.</verse>
				<verse number="20">ඔහු සිය අවිශ්වාසය නිසා කිසි විටෙක දේව පොරොන්දුව සැක නොකොට ඇදහිල්ලෙහි බලවත් ව, උන් වහන්සේට ගෞරව කෙළේ ය.</verse>
				<verse number="21">පොරොන්දු වූ දෙය ඉෂ්ට කිරීමට දෙවියන් වහන්සේ පොහොසත් බව ඔහු ඒකාන්තයෙන් ම විශ්වාස කෙළේ ය.</verse>
				<verse number="22">එබැවින් දෙවියන් වහන්සේ ඔහුගේ ඇදහිල්ල නිසා ඔහු දමිටු බව පිළිගත් සේක.</verse>
				<verse number="23">“දෙවියන් වහන්සේ ඔහු ධර්මිෂ්ඨ ලෙස පිළිගත් සේක” යන්න ලියන ලද්දේ ඔහු උදෙසා පමණක් නොව,</verse>
				<verse number="24">අප උදෙසාත් ය; අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කළ තැනැන් වහන්සේ අදහන අප ද එසේ ම පිළිගනු ලැබ ඇත.</verse>
				<verse number="25">උන් වහන්සේ වනාහි අපේ පව් නිසා මරණයට පාවා දෙනු ලැබ, අප දෙවියන් වහන්සේ හා සමඟ දමිටු බවට පමුණුවනු පිණිස උත්ථාන කරනු ලැබූ සේක.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">අප ඇදහිල්ලෙන් දමිටු බවට පමුණුවනු ලැබූ බැවින් අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් දෙවියන් වහන්සේ හා සමඟ අපට සාමදානය ඇත.</verse>
				<verse number="2">තවද ඇදහිල්ලෙන් අපට ලැබී ඇති මේ දේව වරප්‍රසාදයට පිවිසෙන මඟ අපට සලසා දුන්නේ උන් වහන්සේ ය. ඒ නිසා අපට හිමි වන්නට යන දේව මහිමයේ බලාපොරොත්තු ගැන අපි අතිශයින් ප්‍රීති ප්‍රමෝද වෙමු.</verse>
				<verse number="3">එපමණක් නොව, පීඩා විඳීමෙන් ඉවසිල්ල ද,</verse>
				<verse number="4">ඉවසිල්ලෙන් තැන්පත් බව ද, තැන්පත් බවෙන් බලාපොරොත්තුව ද උපදින බව දැන, අප විඳින පීඩාවල දී වුව ද, අපි ප්‍රීති ප්‍රමෝද වෙමු.</verse>
				<verse number="5">එබඳු බලාපොරොත්තුවකින් කිසි ම කලකිරීමක් ඇති නොවෙයි. මන්ද, අපට දෙන ලද ශුද්ධාත්මයාණෝ දේව ප්‍රේමයෙන් අපේ සිත් පුරවන සේක.</verse>
				<verse number="6">අප අනාථ ව සිටිය දී ම ක්‍රිස්තුන් වහන්සේ පව්කාරයන් උදෙසා නියමිත කාලයේ දී සිය දිවි පිදූ සේක.</verse>
				<verse number="7">සත් ගුණවත් කෙනෙකු උදෙසා දිවි පිදීමට යමෙකු තුළ ධෛර්යය තිබුනත් එවැන්නෙකු උදෙසා දිවි පිදීමක් සිදුවන්නේ කලාතුරකිනි.</verse>
				<verse number="8">අප උදෙසා ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රත්‍යක්ෂ වන්නේ අප පව්කාරයන් ව සිටිය දී ම ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා දිවි පිදූ බැවිනි.</verse>
				<verse number="9">ක්‍රිස්තුන් වහන්සේගේ යාගික රුධිරය හේතුවෙන් දමිටු බවට පමුණුවනු ලැබ, උන් වහන්සේ කරණකොටගෙන දේව උදහසින් මිදීම ගැන අපට වඩාත් සහතික ය.</verse>
				<verse number="10">අපි සතුරන් ව සිටිය දී ම දේව පුත්‍රයාණන්ගේ මරණය නිසා උන් වහන්සේ සමඟ සමඟි කරනු ලැබුවෙමු නම්, එසේ සමඟි කරනු ලැබූ අපි, දැන් ඊටත් වඩා ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතය නිසා ගැළවීම ලබමු.</verse>
				<verse number="11">එපමණකුත් නොව, දෙවියන් වහන්සේ හා සමඟ නැවත අපට සමඟිය අත් කර දුන් ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් අපි දෙවියන් වහන්සේ කෙරේ අතිශයින් ප්‍රීති ප්‍රමෝද වෙමු.</verse>
				<verse number="12">එක මනුෂ්‍යයෙකු නිසා පාපයත්, පාපය නිසා මරණයත් ලෝකයට පිවිසියාක් මෙන්, සියලු මනුෂ්‍යයන් පව් කළ බැවින්, මරණය මුළු මිනිස් සංහතියට ම පොදු ව පවතී.</verse>
				<verse number="13">කිසි ම නීතියක් ඇති වීමට පෙර ලෝකයෙහි පාපය තිබිණි. එහෙත් නීතියක් නැති තැන මිනිසාට විරුද්ධ ව පාපය ගණන් ගනු නොලැබේ.</verse>
				<verse number="14">එසේ ව තිබියදීත්, ආදම් පටන් මෝසෙස් දක්වා, ආදම් මෙන් ආඥා කඩ කිරීමෙන් පව් නොකළ අය කෙරේ පවා මරණය රජකම් කෙළේ ය. ආදම් වනාහි එන්නට සිටින තැනැන් වහන්සේ පිළිබඳ පූර්ව ආදර්ශයක් විය.</verse>
				<verse number="15">එහෙත් දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයේ ක්‍රියාවත්, ආදම්ගේ පාපී ක්‍රියාවත් අතර සමානත්වයක් නැත. එසේ කියන්නේ, එක මිනිසෙකුගේ පාපය හැම මිනිසාගේ ම මරණයට හේතු වූ නමුත්, දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය හා ජේසුස් ක්‍රිස්තුස් නම් එක මනුෂ්‍යයාගේ දයාන්විත දීමනාව බොහෝ දෙනෙකුට විපුල ආසිරි ගෙන දීමේ අමුතු ම හේතුවක් වූ බැවිනි.</verse>
				<verse number="16">දෙවියන් වහන්සේගේ දීමනාව හා එක පුද්ගලයෙකුගේ පාපී ක්‍රියාව අතර සමානත්වයක් නැත. මන්ද, එක පාපී ක්‍රියාවක් නිසා ඇති වන දේව විනිශ්චය, දඬුවමට හේතු විය; එහෙත් බොහෝ පාපී ක්‍රියා සම්බන්ධයෙන් ඇති වූ උන් වහන්සේගේ දයාන්විත දීමනාව, වරදින් නිදහස් කිරීමේ තීන්දුව දෙයි.</verse>
				<verse number="17">එක මනුෂ්‍යයෙකුගේ පාපය නිසා එක ම තැනැත්තෙකු මඟින් මරණය සියල්ලන් කෙරෙහි රජකම් කෙළේ නම්, කොතරම් අධිකතර ලෙස දේව වරප්‍රසාදය හා දමිටු බවට පැමිණවීමේ දීමනාව ලබන හැම දෙන ම එක ම ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන ජීවනයේ රජකම අත් කර නොගනිද් ද?</verse>
				<verse number="18">මෙසේ එක මිනිසෙකුගේ පාපී ක්‍රියාව නිසා හැම මිනිසාට ම දඬුවමේ ඉරණම පැමිණියේ නම්, එක මිනිසෙකුගේ දමිටු ක්‍රියාව නිසා හැමට ම ජීවනදායක නිදොස්කමේ වරප්‍රසාදය ලැබෙනු ඇත.</verse>
				<verse number="19">එක මිනිසෙකුගේ අකීකරුකමින් සියල්ලන් ම පව්කාරයන් වූ සේ ම, එක මිනිසෙකුගේ කීකරුකමින් සියල්ලෝ ම දමිටු බවට පමුණුවනු ලබන්නෝ ය.</verse>
				<verse number="20">ව්‍යවස්ථාව පැමිණි පසු පාපය වැඩි විය. එහෙත් පාපය වැඩි වූ තැන දේව වරප්‍රසාදය ඊටත් වැඩි විය.</verse>
				<verse number="21">මෙසේ මරණය සලසමින් පාපය රජකම් කළාක් මෙන් දමිටු බව සලසමින් දේව වරප්‍රසාදය රජකම් කෙළේ ය. ඒ දමිටු බව අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන සදාතන ජීවනයට අප ගෙන යයි.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">එසේ නම් කුමක් කියමු ද? දේව වරප්‍රසාදය වැඩි වන පිණිස පාපයෙහි නිරත වී සිටිමු ද?</verse>
				<verse number="2">නැත, කොහෙත් ම නැත; පාපයෙන් විමුක්තිය ලැබූ අප එහි තවදුරටත් ජීවත් වන්නේ කෙසේ ද?</verse>
				<verse number="3">බව්තීස්ම-ස්නාපනයෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ හා සමඟ ඒකාබද්ධ වූ අප සියල්ලන් ම එම බව්තීස්ම-ස්නාපනයෙන් උන් වහන්සේගේ මරණයෙහි, උන් වහන්සේ හා සමඟ ඒකාබද්ධ වූ බව ඔබ නොදන්නහු ද?</verse>
				<verse number="4">එබැවින් අපේ බව්තීස්ම-ස්නාපනයෙන් අපිත් උන් වහන්සේගේ මරණයට, සම්බන්ධ වී උන් වහන්සේ සමඟ වළලනු ලැබුවෙමු. එසේ කරනු ලැබුවේ පියාණන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියාවෙන් ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථානය ලැබූ සේ ම, අප ද නව ජීවන මඟක ගමන් කරනු සඳහා ය.</verse>
				<verse number="5">උන් වහන්සේගේ මරණය වැනි සිද්ධියකින් අපි උන් වහන්සේ හා සමඟ එක් වුණෙමු නම්, උන් වහන්සේගේ උත්ථානය වැනි සිද්ධියකින් ද අපි උන් වහන්සේ හා සමඟ එක් වන්නෙමු.</verse>
				<verse number="6">මින් මතු අප පාපයට වහල් නොවන පිණිස අපේ පාපී ස්වභාවය නැති වන සේ අපේ පූර්ව මිනිස් ගතිය උන් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ බව අපි දනිමු.</verse>
				<verse number="7">මන්ද, මළා වූ තැනැත්තාට පාපය ගැන වගකීමක් නැත.</verse>
				<verse number="8">අපි ක්‍රිස්තුන් වහන්සේ සමඟ මැරුණෙමු නම්, උන් වහන්සේ සමඟ ජීවත් වන බව ද විශ්වාස කරමු.</verse>
				<verse number="9">උත්ථාන කරනු ලැබූ ක්‍රිස්තුන් වහන්සේ යළිත් නොමැරෙන බව ද අපි දනිමු. මින් මතු මරණය උන් වහන්සේ කෙරේ බල පවත්වන්නේ නැත.</verse>
				<verse number="10">උන් වහන්සේ මරණයට පත් වීමෙන් එක ම වරක් පාපය නිසා මළ සේක; එහෙත් දැන් ජීවත් වන ජීවිතයෙන් දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වන සේක.</verse>
				<verse number="11">ඔබත් එසේ ම පාප විමුක්තිය ලත් අය බව ද, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේ උදෙසා ජීවත් ව සිටින්නන් බව ද සිතට ගන්න.</verse>
				<verse number="12">ඔබ කායික තෘෂ්ණාවලට අවනත නොවන ලෙස මින් මතු ඔබගේ මැරෙන සුලු ශරීරයෙහි පාපය රජකම් නොකෙරේ වා.</verse>
				<verse number="13">තවද ඔබේ ඉන්ද්‍රියයන් අදමිටුකමේ ආයුධ වන ලෙස පාපයට භාර නොදෙන්න. එසේ නොකර මළවුන් කෙරෙන් උත්ථාන වූ අය මෙන් දෙවියන් වහන්සේට කැප වී, ඔබේ ඉඳුරන් දමිටුකමෙහි ආයුධ වන ලෙස උන් වහන්සේට භාර කරන්න.</verse>
				<verse number="14">මින් මතු ඔබේ ස්වාමියා, පාපය නොවේ; මන්ද, ඔබ නීතිය යටතෙහි නොව, දේව වරප්‍රසාදය යටතෙහි ජීවත් වන බැවිනි.</verse>
				<verse number="15">එසේ නම් කුමක් කරමු ද? නීතිය යටතෙහි නොව, දේව වරප්‍රසාදය යටතෙහි සිටින බැවින් අපි පව් කරමු ද? කොහෙත්ම නැත.</verse>
				<verse number="16">ඔබ යමෙකු යටතේ වහල් සේවයට බැඳුණොත්, ඔබ ඒ ස්වාමියාගේ දාසයන් වන බව නොදන්නහු ද? පාපය ඔබේ ස්වාමියා වුවහොත්, එහි විපාකය මරණය වේ. දෙවියන් වහන්සේට කීකරුකම ඔබේ ස්වාමියා වුවහොත් එහි විපාකය දමිටු බව වේ.</verse>
				<verse number="17">වරක් පාපයට දාසයන් ව සිටි ඔබ, දැන් ඔබට භාර දී ඇති ඉගැන්වීමට මුළු සිතින් කීකරු වූ බැවින් දෙවියන් වහන්සේට ස්තුති වේ වා!</verse>
				<verse number="18">ඔබ පාපයෙන් නිදහස ලැබූ විට දමිටුකමේ දාසයෝ වූවහු ය.</verse>
				<verse number="19">ඔබගේ තේරුම් ගැනීමේ දුර්වලතා මා දන්න නිසා නිදර්ශන දක්වමින් ඔබට කතා කරමි. එනම්, ඔබ වරක් අයුතුකම් කරන ලෙස ඔබේ ඉන්ද්‍රියයන් අපිරිසුදුකමේත් අයුක්තියේත් වහල් සේවයට භාර දුන්නාක් මෙන්, දැන් පාරිශුද්ධත්වය සඳහා ඔබේ ඉඳුරන් දමිටුකමේ වහල් සේවයට භාර දෙන්න.</verse>
				<verse number="20">ඔබ පාපයට දාසයන් ව සිටිය දී දමිටුකමේ නියමයන්ට නොබැඳී සිටියහු ය.</verse>
				<verse number="21">එයින් කුමන ප්‍රතිඵලයක් ඇති වී ද? ඇති වූයේ ඔබ දැන් ලජ්ජාවට පමුණුවන, මරණයෙන් කෙළවර වන ප්‍රතිඵලය යි.</verse>
				<verse number="22">එහෙත් දැන් ඔබ පාපයෙන් නිදහස ලබා දෙවියන් වහන්සේගේ දාසයන් ව සිටින බැවින් සදාතන ජීවිතයෙන් කෙළවර වන, විශුද්ධි මාර්ගයෙහි පල දරන්නහු ය.</verse>
				<verse number="23">පාපයේ විපාකය මරණය යි, එහෙත් දෙවියන් වහන්සේගේ දීමනාව නම් අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ සදාතන ජීවනය යි.</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">සහෝදරවරුනි, නීතිය මිනිසෙකු කෙරේ බලපාන්නේ ඔහු ජීවත් ව සිටින තුරු පමණක් බව ඔබ නොදන්නහු ද? (මා කතා කරන්නේ නීතිය දන්නා ඇත්තන්ට ය.)</verse>
				<verse number="2">විවාහ වූ ස්ත්‍රිය ස්වාමි පුරුෂයා ජීවත් ව සිටින තුරු නීත්‍යනුකූල ව බැඳී සිටියි. එහෙත් ස්වාමි පුරුෂයා මැරුණොත් ඈ විවාහ බැම්මෙන් නිදහස් ය.</verse>
				<verse number="3">ස්වාමි පුරුෂයා ජීවත් ව සිටිය දී ඈ පරපුරුෂ සේවනයෙහි යෙදුණොත් ඇයට කාමමිථ්‍යාචාරයේ යෙදෙන්නී ය යි කියනු ලැබේ. එහෙත් සිය හිමියා මළ පසු ඈ විවාහ බැම්මෙන් නිදහස ලබයි. ඉන්පසු ඈ වෙන කෙනෙකු සමඟ විවාහ වුවත් කාමමිථ්‍යාචාරය නොකරන්නී ය.</verse>
				<verse number="4">මාගේ සහෝදරවරුනි, ඔබ ද එලෙස ම ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරයට සම්බන්ධ වීමෙන් ව්‍යවස්ථාවෙන් නිදහස ලබා ඇත. ඒ හේතුවෙන් දෙවියන් වහන්සේට වැඩදායක වන පිණිස, ඔබ වෙන කෙනෙකුට, එනම් උත්ථානය ලැබූ තැනැන් වහන්සේට බැඳී සිටින්නහු ය.</verse>
				<verse number="5">ලෞකික පෙළඹීම් අනුව අප ජීවත් ව සිටිය දී ව්‍යවස්ථාව නිසා ඇවිස්සුණු කාම තෘෂ්ණා අප ඉඳුරන් තුළ ක්‍රියාත්මක විය. එහි ප්‍රතිඵලය මරණය යි.</verse>
				<verse number="6">එහෙත් දැන්, වරක් අප තරයේ බැඳ තැබූ බැම්මෙන් මිදීම ලබා, අපි නීතියෙන් නිදහස් ව සිටිමු. එබැවින් අපි දැන් පැරණි ලිඛිත නීතිය යටතේ නොව, ආත්මයාණන්ගේ නව ජීවනය තුළ සේවය කරමු.</verse>
				<verse number="7">එසේ නම් ව්‍යවස්ථාවත් පාපයත් එක ම යයි නිගමනය කළ හැකි ද? කොහෙත් ම නැත; එහෙත් ව්‍යවස්ථාව නොතිබෙන්නට, පාපය කුමක් දැ යි දැනුමක් මට ඇති විය නොහැක. “තණ්හා නොකරන්නැ”යි ව්‍යවස්ථාවෙහි නොකියන්නට, තණ්හාව කුමක් දැ යි දැනුමක් මට නැත.</verse>
				<verse number="8">එහෙත් පාපය, ආඥාව මඟින් පාප ක්‍රියාවට ඉඩප්‍රස්ථාවක් සාදාගෙන විවිධාකාර තණ්හා මා තුළ නිපදවී ය. ව්‍යවස්ථාව නොවී නම්, පාපය ක්‍රියා විරහිත මළ දෙයකි.</verse>
				<verse number="9">නීතිය නොදැන මා ජීවත් වූ කාලයක් විය. එහෙත් මට ආඥාව දැනගන්න ලැබුණු කල, පාපය වහා ම පණ ලැබී ය.</verse>
				<verse number="10">මම ද මැරුණෙමි. ජීවිතය සඳහා පැන වූ ආඥාව ම මා මරණයට පැමිණ වී ය.</verse>
				<verse number="11">මන්ද, පාපය, ආඥාව මඟින් ක්‍රියාවට ඉඩප්‍රස්ථාවක් සලසාගෙන, මා රවටා, ආඥාව උපයෝගී කොටගෙන, මා මැරී ය.</verse>
				<verse number="12">එසේ වුව ද ව්‍යවස්ථාව ශුද්ධ ය, ආඥාව ද ශුද්ධ ය, සාධාරණ ය, යහපත් ය.</verse>
				<verse number="13">එසේ නම් යහපත පිණිස පැන වූ ව්‍යවස්ථාව ම මට මරණය පැමිණ වී ද? කොහෙත් ම නැත; මා මරණයට පත් කෙළේ පාපය ය. මෙයින් පාපයේ පාපී ගතිය හෙළි විය. එය, යහපත් දෙයක් උපයෝගී කොටගෙන මා මරණයට පත් කෙළේ ය. මෙසේ ආඥාව මඟින් පාපය වඩාත් පාපිෂ්ඨ විය.</verse>
				<verse number="14">නීතිය ආධ්‍යාත්මික බව අපි දනිමු. එහෙත් ලෞකීක වූ මම පාපයට වහල් වී සිටිමි.</verse>
				<verse number="15">මා කරන දේ මට ම නොතේරේ. මා කරන්නේ මා කරන්නට කැමැති දේ නොව, මා ද්වේෂ කරන දේ ය.</verse>
				<verse number="16">මා කරන්නේ මා අකමැති දෙය බව මට හැඟේ නම්, එයින් නීතිය යහපත් බව මම ඒත්තු ගනිමි.</verse>
				<verse number="17">සැබැවින් ම මා කරන දෙය කරන්නේ මා නොව මා තුළ ඇති පාපය වේ.</verse>
				<verse number="18">මා තුළ, එනම්, මාගේ මිනිස් ගතිය තුළ කිසි යහපතක් නැති බව දනිමි. මන්ද, යහපත කිරීමට කැමැත්තක් මට ඇතත්, එය ඉටු කිරීමට ශක්තියක් මට නැත.</verse>
				<verse number="19">මා කැමැති වන යහපත නොකර, මා අකමැති වන අයහපත මම කරමි.</verse>
				<verse number="20">ඉදින් මා කරන්නේ මා අකමැති වන දෙය නම්, එය කරන්නේ මා නොව, මා තුළ ඇති පාපය ය.</verse>
				<verse number="21">එබැවින් යහපත කිරීමේ කැමැත්ත මට ඇති අතර, නපුර මා නොමඟට පොළඹවන්නේ ය යන ප්‍රතිපත්තියක් මට පෙනේ.</verse>
				<verse number="22">මාගේ හද පත්ලෙන් මම දෙවියන් වහන්සේගේ ආඥාවට ප්‍රිය කරමි.</verse>
				<verse number="23">එහෙත් මාගේ මනසෙහි ඇති ඒ නීතියට විරුද්ධ ව සටන් කරන මාගේ ඉන්ද්‍රියයන් තුළ වූ පාප නීතියේ වහල්කමට මා හෙළන, වෙන ප්‍රතිපත්තියක් මාගේ ඉන්ද්‍රියයන් තුළ ඇති බව මට පෙනේ.</verse>
				<verse number="24">අනේ, මා වැනි කාලකණ්ණි මිනිහෙක්! මේ මරණීය ශරීරයෙන් මා මුදන්නේ කවරෙක් ද?</verse>
				<verse number="25">අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළින් දෙවියන් වහන්සේට ස්තුති වේ වා! කොටින් කියතොත්, මනසින් මා දේව ආඥාව පිළිගනිතත්, මිනිස් ගතිය අනුව මා යටත් ව සිටින්නේ පාප ආඥාවට ය.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">මෙසේ ක්‍රිස්තුන් වහන්සේ තුළ ජීවත්වන්නවුනට විරුද්ධ ව නඩු තීන්දුවක් නැත.</verse>
				<verse number="2">ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ වූ ජීවනදායක ආත්මයාණන්ගේ ආධ්‍යාත්මික ප්‍රතිපත්ති, පාපයේ හා මරණයේ නියමයෙන් ඔබ නිදහස් කර ඇත.</verse>
				<verse number="3">මිනිස් දුර්වලතා නිසා, ව්‍යවස්ථාවට ඉටු කළ නොහැකි දෙය දෙවියන් වහන්සේ ඉටු කළ සේක. එසේ කෙළේ, පාපයේ බලය බිඳින පිණිස, ස්වකීය පුත්‍රයාණන්ට අපේ පාපී වූ මිනිස් කයට සමාන කයක් දී එවමින්, ඒ මිනිස් කයේ සිටිය දී දෙවියන් වහන්සේ විසින් පාපයට විරුද්ධ ව තීන්දුව දීමෙනි.</verse>
				<verse number="4">උන් වහන්සේ එසේ කෙළේ මාංසය අනුව නොව, ආත්මයාණන් අනුව හැසිරෙන අප තුළ නීතියේ නියමයන් ඉටු වන පිණිස ය.</verse>
				<verse number="5">මාංසික ලෙස ජීවත් වන්නෝ මාංසික දේවලට ද ආත්මයාණන් අනුව ජීවත් වන්නෝ ආධ්‍යාත්මික දේවලට ද මුළු සිතින් ප්‍රිය කරති.</verse>
				<verse number="6">මාංසික චේතනාවේ විපාකය මරණය වේ; ආධ්‍යාත්මික චේතනාවේ විපාකය ජීවනය හා ශාන්තිය වේ.</verse>
				<verse number="7">මාංසික චේතනාව දේව විරෝධකමකි. එය දෙවියන් වහන්සේගේ ආඥාවට යටත් නොවූවකි. එසේ ම යටත් නොවන්නකි.</verse>
				<verse number="8">මාංසික තෘෂ්ණාවලට වසඟවූවන්ට දෙවියන් වහන්සේ සතුටු කළ නොහැකි ය.</verse>
				<verse number="9">එහෙත් දෙවියන් වහන්සේගේ ආත්මයාණෝ සැබැවින් ම ඔබ තුළ වාසය කරන සේක් නම්, ඔබ ජීවත් වන්නේ මාංසික තෘෂ්ණාවල නොව, ආත්මයාණන් තුළ ය. යම් කෙනෙකුට ක්‍රිස්තුන් වහන්සේගේ ආත්මයාණන් නැති නම්, ඔහු උන් වහන්සේට අයිති නැත.</verse>
				<verse number="10">එහෙත් ක්‍රිස්තුන් වහන්සේ ඔබ තුළ වැඩ වසන සේක් නම්, පාපය නිසා ඔබේ ශරීරය මැරී ඇතත්, දමිටු බව නිසා ඔබේ ආධ්‍යාත්මය ජීවමාන ය.</verse>
				<verse number="11">තවද, ජේසුස් වහන්සේ මළවුන් කෙරෙන් උත්ථාන කළ තැනැන් වහන්සේ ඔබ තුළ වැඩ වසන සේක් නම්, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මළවුන් කෙරෙන් උත්ථාන කළ තැනැන් වහන්සේ ඔබ තුළ වසන ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඔබගේ මරණීය ශරීර ජීවමාන කරන සේක.</verse>
				<verse number="12">එබැවින් සහෝදරවරුනි, මාංසයට ගැති ව ජීවත් වීමට අප මාංසයට බැඳී නැත.</verse>
				<verse number="13">ඔබ මාංසයට ගැති ව ජීවත් වන්නහු නම් මරණයට පත් වනු ඇත. එහෙත් ආත්මයාණන් මඟින් ඔබ මාංසික ක්‍රියා නසන්නහු නම්, ඔබ සැබැවින් ම ජීවත් වන්නහු ය.</verse>
				<verse number="14">දේවාත්මයාණන් විසින් මඟ පෙන්වනු ලබන්නෝ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය.</verse>
				<verse number="15">මන්ද, ඔබ ලබා ඇත්තේ නැවතත් බිය ගෙන දෙන වහල් සේවයේ තත්ත්වය නොව, “අබ්බා, පියාණෙනි”යි අමතා යාච්ඤා කිරීමට ඉඩ ඇති පුත්‍රකම ලැබීමේ තත්ත්වයකි.</verse>
				<verse number="16">අප දෙවියන් වහන්සේගේ දරුවන් බවට ශුද්ධාත්මයාණෝ ම අප ආත්මය හා එක් ව සාක්ෂි දරති.</verse>
				<verse number="17">අපි දරුවෝ නම් උරුමක්කාරයෝ ද වම්හ. දෙවියන් වහන්සේගේ උරුමක්කාරයෝ ද ක්‍රිස්තුන් වහන්සේ හා සමඟ හවුල් උරුමක්කාරයෝ ද වම්හ. මන්ද, දැන් උන් වහන්සේගේ දුක් විඳීමේ පංගුකාරයන් වීමෙන්, අනාගතයේ දී උන් වහන්සේගේ මහිමයේ පංගුකාරයෝ ද වම්හ.</verse>
				<verse number="18">මේ ජීවිතයේ දුක් වේදනා, අපට මතු එළිදරව් වන්නට යන මහිමය සමඟ කිසි සේත් සැසඳිය නොහැකි ය යි කල්පනා කරමි.</verse>
				<verse number="19">මවා ඇති මේ විශ්වය වුව ද දේව පුත්‍රයන්ගේ එළිදරව් වීම පුල පුලා බලා සිටියි.</verse>
				<verse number="20">මන්ද, විශ්වය, ශුන්‍යතාවට යටත් කළ තැනැන් වහන්සේ එසේ කෙළේ, විශ්වයේ කැමැත්තෙන් නොව, එසේ යටත් කළ උන් වහන්සේගේ ම බලාපොරොත්තු සහගත කැමැත්තෙනි.</verse>
				<verse number="21">ඒ බලාපොරොත්තුව නම් මවා ඇති මේ විශ්වය ජරාපත් වීමේ වහල්කමෙන් මිදී දේව දරුවන්ට හිමි මහිමාන්විත නිදහස ලැබීම ය.</verse>
				<verse number="22">මවා ඇති මුළු විශ්වය මේ දක්වා ම ප්‍රසව වේදනාවෙන් කෙඳිරිගානා බව අපි දනිමු.</verse>
				<verse number="23">එපමණක් නොව, ආත්මයාණන් වහන්සේ කෙරෙන් වන දීමනාවේ නාඹුල් පල ලැබූ අපි ද, අපේ කායික මිදීම වන, පුත්‍රකමට පිළිගනු ලැබීමේ බලාපොරොත්තුවෙන් අප තුළ ම සුසුම් ලමු.</verse>
				<verse number="24">අප ගැළවීම ලබාගත්තේ බලාපොරොත්තුව කරණකොටගෙන ය. පෙනෙන දේ ගැන බලාපොරොත්තුව, බලාපොරොත්තුවක් නොවේ. පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වන්නේ කුමට ද?</verse>
				<verse number="25">එහෙත් අපි නොපෙනෙන දෙයක් බලාපොරොත්තු වෙමු නම්, එය ඉවසිල්ලෙන් යුතුව බලා සිටිමු.</verse>
				<verse number="26">එලෙස ම ශුද්ධාත්මයාණන් වහන්සේත් අපගේ දුර්වලකමේ දී අපට ආධාර දෙන සේක. නිසි ලෙස යාච්ඤා කළ යුත්තේ කෙසේ දැ යි අපි නොදනිමු. එහෙත් ශුද්ධාත්මයාණන් වහන්සේ ම වචනවලින් කිය නොහැකි සුසුම්ලෑම්වලින් දෙවියන් වහන්සේ වෙත අප වෙනුවෙන් අයැදින සේක.</verse>
				<verse number="27">අප සිත්සතන්හි ඇති සියල්ල විමසා බලන දෙවියන් වහන්සේ ශුද්ධාත්මයාණන්ගේ අයැදුම් දන්නා සේක. මන්ද, ශුද්ධාත්මයාණන්, සැදැහැවතුන් උදෙසා කරන අයැදුම් දේව අදහසට එකඟ වන බැවිනි.</verse>
				<verse number="28">තවද දෙවියන් වහන්සේගේ අදහස ලෙස කැඳවනු ලැබූවන්ට, එනම්, උන් වහන්සේට ප්‍රේම කරන අයට, සියල්ලෙහි දී ම උන් වහන්සේ ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන බව අපි දනිමු.</verse>
				<verse number="29">මන්ද, උන් වහන්සේ කලින් තෝරාගත් අය ස්වකීය පුත්‍රයාණන්ගේ ස්වරූපයට සමාන වන පිණිස කල්තියා වෙන් කරගත් සේක. එසේ කෙළේ තමන් වහන්සේගේ පුත්‍රයාණන් බොහෝ සොහොයුරන් අතර ජ්‍යෙෂ්ඨයාණන් වන පිණිස ය.</verse>
				<verse number="30">එසේ, කලින් තෝරාගත් අය උන් වහන්සේ කැඳවාගත් සේක; කැඳවාගත් අය උන් වහන්සේ දමිටු බවට පැමිණෙවූ සේක; දමිටු බවට පැමිණෙවූ අය උන් වහන්සේ මහිමයට පැමිණෙවූ සේක.</verse>
				<verse number="31">කරුණු මෙසේ නම් කුමක් නිගමනය කරමු ද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට නම් අපට විපක්ෂ වන්නේ කවරෙක් ද?</verse>
				<verse number="32">උන් වහන්සේ තමන්ගේ ම පුත්‍රයාණන් වුව ද ඉතිරි කර නොගෙන, අප හැම උදෙසා පරිත්‍යාග කළ සේක. එසේ නම්, ඒ දීමනාව සමඟ උන් වහන්සේ අන් හැම දෙයක් ම අපට නොමසුරු ව නොදෙන සේක් ද?</verse>
				<verse number="33">දෙවියන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ අය වරදට පත් කරන්නේ කවරෙක් ද? ඔවුන් නිවැරදි බව ප්‍රකාශ කරන්නේ දෙවියන් වහන්සේ ය.</verse>
				<verse number="34">එසේ නම් ඔවුන් වැරදිකරුවන් බවට තීන්දු කරන්නේ කවරෙක් ද? අප උදෙසා මැරුණේත්, අප උදෙසා මරණයෙන් උත්ථාන වූයේත් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ය. දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩසිටිමින් අප වෙනුවෙන් මැදහත් වන්නේත් උන් වහන්සේ ය.</verse>
				<verse number="35">ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කළ හැකි කිසිවක් ඇද් ද? විපතට වත්, දුක් වේදනාවට වත්, පීඩාවට වත්, සාගින්නට වත්, දුගී බවට වත්, උවදුරට වත්, කඩුවට වත් අප වෙන් කළ හැකි ද?</verse>
				<verse number="36">ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇති ලෙස: “දවස පුරා අපි ඔබ නිසා මරුමුවට පත් වෙමු. ඝාතනයට වෙන් කළ බැටළුවන් මෙන් ගණන් ගනු ලැබුවෙමු.”</verse>
				<verse number="37">එහෙත් අපට ප්‍රේම කළ තැනැන් වහන්සේ නිසා අපි මේ සියල්ලේ දී ම විජයග්‍රාහී වෙමු.</verse>
				<verse number="38">මන්ද, මරණයට වත්, ජීවිතයට වත්, දේව දූතයන්ට වත්, භූතාධිපතීන්ට වත්, බලධාරීන්ට වත්, දැන් තිබෙන කිසිවකට වත්, මතු පැමිණෙන කිසිවකට වත්,</verse>
				<verse number="39">අතී උසට වත්, මහා ගැඹුරට වත්, මුළු විශ්වයෙහි අන් කිසි මැවිල්ලකට වත් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළ ඇති දේව ප්‍රේමයෙන් අප වෙන් කළ නොහැකි බව මම ඒකාන්තයෙන් ම දනිමි.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">මම කිතුනුවෙකු වශයෙන් සත්‍යය පවසමි. මෙය මුසාවක් නොවේ. ඒ බවට ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ මාගේ හෘදය සාක්ෂිය සහතික කරයි.</verse>
				<verse number="2">මා තුළ බලවත් ශෝකයක් ද හදවතෙහි නිරන්තර වේදනාවක් ද ඇත.</verse>
				<verse number="3">මාගේ ලේ නෑයන් වූ සහෝදරයන් උදෙසා, ක්‍රිස්තුන් වහන්සේගෙන් වෙන් වී සාප ලද්දෙකු වීමට හැකි නම් ඊට වුවත් මම කැමැති වෙමි.</verse>
				<verse number="4">ඔව්හු ඉශ්රායෙල්වරු ය, දේව පුත්‍රකමට පිළිගනු ලැබීම හා මහිමය ඔවුන්ගේ ය. ගිවිසුම් හා ව්‍යවස්ථාව ද දේව සේවය හා පොරොන්දු ද ඔවුන් සතු ය.</verse>
				<verse number="5">ඔවුන් ජාතියේ පීතෘවරුන්ගේ පෙළපතට අයිති ය. මනුෂ්‍යයෙකු ලෙස ක්‍රිස්තුන් වහන්සේ උපන්නේත් එම පෙළපතෙහි ම ය. මුළු විශ්වයට අධිපති වූ දෙවියන් වහන්සේට සදහට ම ප්‍රශංසා වේ වා! ආමෙන්.</verse>
				<verse number="6">එහෙත් දෙවියන් වහන්සේගේ පොරොන්දුව නිරර්ථක වූවා නොවේ. මන්ද, ඉශ්රායෙල් පෙළපතෙන් පැවත එන සියල්ලෝ ම තෝරාගත් සෙනඟ නොවෙ‍ති.</verse>
				<verse number="7">එමෙන් ම ආබ්‍රහම්ගෙන් පැවත එන සියල්ලෝ ම ඒ නිසා ම ඔහුගේ දරුවෝ නොවෙ‍ති. කෙසේ වෙතත්, “ඔබට පෙළපත ලැබෙන්නේ ඊසාක් ගෙන් ය”යි ලියා ඇත.</verse>
				<verse number="8">ඉන් අදහස් කරනුයේ, ස්වාභාවික ලෙස උපන් දරුවන් දෙවියන් වහන්සේගේ දරුවන් නොවන බවත්, ආබ්‍රහම්ගේ පෙළපත වශයෙන් ගණන් ගැනෙන්නේ පොරොන්දුව අනුව උපන් දරුවන් බවත් ය.</verse>
				<verse number="9">ඒ පොරොන්දුව නම්, “නියමිත කාලයේ දී මම එන්නෙමි, එවිට සාරාට පුතෙකු ලැබෙනු ඇත” යනු යි.</verse>
				<verse number="10">එපමණකුත් නොවේ, රෙබෙකාගේ දරුවන් දෙදෙනාට ඊසාක් නම් එක ම පියෙක් විය.</verse>
				<verse number="11">එහෙත් ඔවුන් උපදින්න කලින්, යහපත හෝ අයහපත හෝ කරන්නටත් පෙර,</verse>
				<verse number="12">“වැඩිමලා බාලයාට සේවය කරනු ඇතැ”යි ඈට කියන ලදී. එසේ කියන ලද්දේ, දෙවියන් වහන්සේගේ තෝරා ගැනීම, උන් වහන්සේගේ කැඳවීම අනුව මිස, මනුෂ්‍යයාගේ ක්‍රියා මත රඳා නැති බව ස්ථීර වන පිණිස ය.</verse>
				<verse number="13">“මම ජාකොබ්ට ප්‍රේම කෙළෙමි. ඒසව්ට ද්වේෂ කෙළෙමි”යි ලියා තිබෙන්නේත් ඒ නිසා ය.</verse>
				<verse number="14">එසේ නම් අපි කුමක් නිගමනය කරමු ද? දෙවියන් වහන්සේගේ තීන්දුව අසාධාරණ ද? කොහෙත් ම නැත.</verse>
				<verse number="15">මන්ද, “මම දයාව දක්වන්නට කැමැති අයට දයාව දක්වන්නෙමි; අනුකම්පාව දක්වන්නට කැමැති අයට අනුකම්පාව දක්වන්නෙමි”යි උන් වහන්සේ මෝසෙස්ට වදාළ සේක.</verse>
				<verse number="16">එහෙයින් සියල්ල රඳා ඇත්තේ මිනිසාගේ කැමැත්ත පිට වත්, ශ්‍රමය පිට වත් නොව, දෙවියන් වහන්සේගේ දයානුකම්පාව පිට ය.</verse>
				<verse number="17">මන්ද, “මා නුඹ පත් කෙළේ හුදෙක් නුඹ කරණකොටගෙන මාගේ බලය පා මාගේ නාමය ලොව පුරා ප්‍රකාශ කරන පිණිස ය”යි ශුද්ධ ලියවිල්ලෙහි පාරාවෝට කියා ඇත.</verse>
				<verse number="18">මෙසේ සිය කැමැත්ත අනුව උන් වහන්සේ ඇතැමෙකුට දයාව දක්වන සේක; ඇත්මෙකුගේ සිත් දැඩි කරන සේක.</verse>
				<verse number="19">උන් වහන්සේගේ කැමැත්තට විරුද්ධ ව සිටීමට කිසිවෙකුට නොහැකි නම්, “උන් වහන්සේ තවමත් මිනිසාට දොස් නඟන්නේ මන්දැ”යි ඔබ මගෙන් ප්‍රශ්න කරනු ඇත.</verse>
				<verse number="20">අනේ ඇත්තට ම, මිනිසෙකු වන ඔබ දෙවියන් වහන්සේ සමඟ එකට එක කීමට තරම් කවරෙක් ද? “මා මෙසේ තැනුවේ මන්දැ”යි මැටි බඳුන එය තැනූ කුම්භකාරයාට කියනු ඇද් ද?</verse>
				<verse number="21">එක මැටි පිඩකින් එක බඳුනක් ඉස්තරම් ලෙසත්, අනෙක සාමාන්‍ය භාවිතය පිණිසත් තැනීමට කුම්භකාරයාට බලයක් නැද් ද?</verse>
				<verse number="22">දෙවියන් වහන්සේ ක්‍රියා කර ඇත්තේත් එසේ ම ය. උන් වහන්සේ සිය උදහස පෙන්වන්නට ද සිය බලය ප්‍රකාශ කරන්නට ද කැමැති වූ සේක. නමුත්, විනාශයට නියම වූ උදහසට ලක්විය යුතු වූ අය කෙරෙහි මහත් ඉවසීමක් දැක්වූ සේක.</verse>
				<verse number="23">තවද, උන් වහන්සේගේ මහිමය ලැබීම පිණිස කලින් තමන් වහන්සේ සූදානම් කළ දයාව ලැබිය යුතු අය වූ,</verse>
				<verse number="24">ජුදෙව්වරුන්ගෙන් පමණක් නොව විජාතීන්ගෙන් ද කැඳවන ලද අප කෙරෙහි, තමන් වහන්සේගේ මහිමයේ සම්පත ප්‍රකාශ කරන්නට උන් වහන්සේ කැමැති වූ සේක.</verse>
				<verse number="25">උන් වහන්සේ ඒ බව හොසියාගේ පොතේ මෙසේ කියා ඇත: “මාගේ සෙනඟ ව නොසිටි අයට ‘මාගේ සෙනඟ ය’ කියාත් මා ප්‍රිය නොකළ ජාතියකට ‘මාගේ ප්‍රියාවි ය’ කියාත්,</verse>
				<verse number="26">
					ඔබ මාගේ සෙනඟ නොවෙ‍ති යි ඔවුන්ට කියා ඇති තැන, ‘ඔබ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය’ කියාත් කියනු ලබන්නහු ය.”
				</verse>
				<verse number="27">තවද යෙසායා ඉශ්රායෙල් ගැන ප්‍රකාශයක් කරමින්: “ඉශ්රායෙල් දරුවන්ගේ ගණන මුහුදු වෙරළේ වැලි මෙන් වුව ද, ගැළවෙන්නේ ස්වල්ප දෙනෙක් පමණෙකි.</verse>
				<verse number="28">මන්ද, සමිඳාණන් වහන්සේ සිය අදහස අප්‍රමාද ව හා තීරණාත්මක ලෙස මිහි පිට ඉටු කරන සේකැ”යි කියයි.</verse>
				<verse number="29">කලිනුත් යෙසායා මෙසේ පවසා ඇත: “සව් බලැති සමිඳාණන් වහන්සේ අපට වංශයක් ඉතිරි නොකළ සේක් නම්, අපට වන්නේ සොදොමට වූ දෙය ම ය; ගොමොරාවට වූ දෙය ම ය.”</verse>
				<verse number="30">එසේ නම් අපි කුමක් කියමු ද? දමිටු බව නොසොයා සිටි විජාතීහු එවැනි දමිටු බවට, එනම්, ඇදහිල්ලේ ප්‍රතිඵලය වන දමිටු බවට පැමිණියහ.</verse>
				<verse number="31">එහෙත් නීතිය අනුව දමිටු බව සොයා ගිය ඉශ්රායෙල් සෙනඟ නීත්‍යනුකූල දමිටු බවට නොපැමිණියහ.</verse>
				<verse number="32">එසේ වූයේ, ඔවුන් එය ඇදහිල්ලේ මාර්ගයෙන් නොව ක්‍රියා මාර්ගයෙන් සෙවූ බැවිනි. ඔව්හු පැකිලීම් ගලෙහි ගැටී වැටුණෝ ය.</verse>
				<verse number="33">ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ ලියා ඇත: “සෙනඟ පැකිලී වැටෙන පිණිස ගලක් ද ඔවුන්ට බාධා වන පිණිස පර්වතයක් ද සියොනෙහි තබමි, උන් වහන්සේ කෙරෙහි අදහාගන්නා අය කිසි සේත් ලජ්ජාවට නොපැමිණෙති.”</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">සහෝදරයෙනි, මාගේ සිතෙහි ඇති බලවත් ආශාව නම් ජුදෙව්වරුන්ගේ ගැළවීම ය; දෙවියන් වහන්සේට මා කරන ආයාචනය ඒ උදෙසා ය.</verse>
				<verse number="2">දෙවියන් වහන්සේට අධික ලැදියාවක් ඔවුන් තුළ ඇති බවට මම සාක්ෂි දරමි; එහෙත් එය හරි පැහැදීමක් නැති ලැදියාවකි.</verse>
				<verse number="3">දමිටු බවට පැමිණීමේ මාර්ගය නොදත් ඔව්හු, තමන්ගේ ම මාර්ගයක් සලසාගැනීමට ප්‍රයත්න දරමින් දමිටු කරනු ලැබීමට යටත් නොවූ හ.</verse>
				<verse number="4">මන්ද, අදහන සියල්ලන් ම දමිටු බවට පැමිණවීමෙන් ක්‍රිස්තුන් වහන්සේ ව්‍යවස්ථාවේ පරමාර්ථය සපුරාලූ සේක.</verse>
				<verse number="5">ව්‍යවස්ථාව පිළිපැදීමෙන් ඇති වන දමිටු බව පිළිබඳ ව මෝසෙස් මෙසේ ලියා ඇත: “ව්‍යවස්ථාව පිළිපදින තැනැත්තා එයින් ජීවත් වන්නේ ය.”</verse>
				<verse number="6">එහෙත් ඇදහිල්ලෙන් ඇති වන දමිටු බවෙන් පැවසෙන්නේ මෙය යි: “ක්‍රිස්තුන් වහන්සේ පහතට වැඩමවාගැනීමට ස්වර්ගයට නඟින්නේ කවරෙක් ද?</verse>
				<verse number="7">නැතහොත් ක්‍රිස්තුන් වහන්සේ මළවුන් කෙරෙන් ගෙනෙ‍න පිණිස පාතාලයට බසින්නේ කවරෙක් දැ”යි සිතින් නොසිතන්න.</verse>
				<verse number="8">එයින් තව කුමක් පැවසේ ද? පැවසෙන්නේ: “වාක්‍යය ඔබේ මුවෙහි ය, ඔබේ සිතෙහි ය, ඔබ ළඟ ම ය” කියා ය. ඒ වාක්‍යය අප ප්‍රකාශ කරන ඇදහිල්ලේ පණිවුඩය වේ.</verse>
				<verse number="9">ඔබ ‘ජේසුස් වහන්සේ සමිඳාණන් වහන්සේ ය’යි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නෙහි නම්, දෙවියන් වහන්සේ උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කළ බව සිතින් අදහන්නෙහි නම්, ඔබ ගැළවීම ලබන්නෙහි ය.</verse>
				<verse number="10">මනුෂ්‍යයෙක් සිතින් ඇදහීමෙන් දමිටු බවට පැමිණෙන්නේ ය; මුවින් පැවසීමෙන් ගළවනු ලබන්නේ ය.</verse>
				<verse number="11">“උන් වහන්සේ අදහන කිසිවෙක් ලජ්ජාවට නොපැමිණෙති”යි ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ව ඇත.</verse>
				<verse number="12">ජුදෙව්වා හා ග්‍රීකයා අතර වෙනසක් නැත. එක ම සමිඳාණන් වහන්සේ සියල්ලන්ගේ ම සමිඳාණන් වහන්සේ ය; උන් වහන්සේගේ පිහිට අයැදින සියල්ලන්ට උන් වහන්සේ සියලු යසඉසුරු සලසා දෙන සේක.</verse>
				<verse number="13">මන්ද: “සමිඳාණන් වහන්සේගේ නාමය කියා අයැදින කවරෙක් නමුත් ගැළවීම ලබති”යි ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇත.</verse>
				<verse number="14">අදහා නොගත් කෙනෙකුට යැදුම් පුදන්නේ කෙසේ ද? නෑසූ කෙනෙකු අදහන්නේ කෙසේ ද? දේශකයෙකු නැති ව අසන්නේ කෙසේ ද?</verse>
				<verse number="15">යවනු නොලැබුවොත් දේශනා කරන්නේ කෙසේ ද? මේ පිළිබඳ ව: “සුබ අස්න ගෙන එන ධර්ම දූතයන්ගේ පාද කොතරම් මනහර ද?” කියා ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ව ඇත.</verse>
				<verse number="16">එහෙත් හැම දෙනා ම ඒ සුබ අස්නට සවන් දුන්නේ නැත. මන්ද, “සමිඳාණන් වහන්ස, අපේ පණිවුඩය විශ්වාස කෙළේ කවරෙක් දැ”යි යෙසායා අසයි.</verse>
				<verse number="17">ඇදහිල්ල ඇති වන්නේ පණිවුඩය ඇසීමෙනි, පණිවුඩය ඇති වන්නේ ක්‍රිස්තුන් වහන්සේ ගැන දෙසීමෙනි.</verse>
				<verse number="18">එහෙත් ඔව්හු සවන් නුදුන්නාහු දැ යි මම ප්‍රශ්න කරමි. සැබැවින් ම ඔව්හු සවන් දුන්නාහු ය. ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති පරිදි: “දූතයන්ගේ දහම් හඬ පොළොව පුරා පැතිරී ඇත; ඔවුන්ගේ වචන ලෝක සීමා දක්වා විසිරී ඇත.”</verse>
				<verse number="19">එහෙත් ඉශ්රායෙල් ජාතිය එය නොදැන සිටියා දැ යි මම යළි යළිත් ප්‍රශ්න කරමි: “නියම ජාතියක් නොවන ජනතාවක් කෙරෙහි ඊර්ෂ්‍යා කිරීමට මම නුඹලා තදින් පොළඹවන්නෙමි; අනුවණ ජාතියක් කෙරේ නුඹලාගේ කෝපය අවුස්සන්නෙමි”යි පළමුකොට මෝසෙස් කියයි.</verse>
				<verse number="20">තවද, යෙසායා නිර්භය ව කතා කරමින්: “නොසෙවූ අයට මම හමු වීමි; මා ගැන නොවිමසූ අයට මම ප්‍රකාශ වීමි”යි කියයි.</verse>
				<verse number="21">එහෙත් ඔහු ඉශ්රායෙල් ජනතාව ගැන කතා කොට: “අකීකරු, කැරලිකාර සෙනඟක් දෙසට දවස මුලුල්ලේ ම මාගේ අත් දිගු කෙළෙමි”යි කියයි.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">එසේ නම් දෙවියන් වහන්සේ සිය සෙනඟ අත් හළ සේක් දැ යි මම ප්‍රශ්න කරමි. කොහෙත් ම නැත. මන්ද, මමත් ආබ්‍රහම්ගේ පෙළපතට ද බෙන්ජමින්ගේ ගෝත්‍රයට ද අයත් ඉශ්රායෙල් ජාතිකයෙක්මි.</verse>
				<verse number="2">දෙවියන් වහන්සේ ආදියේ දී තෝරාගත් සිය සෙනඟ අත් නොහළ සේක. ශුද්ධ ලියවිල්ලේ එලියා ගැන ලියා තිබෙන පරිදි ඔහු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව දෙවියන් වහන්සේට චෝදනා කළ සැටි ඔබ දන්නවා නොවේ ද?</verse>
				<verse number="3">එනම්, “ස්වාමීනි, ඔව්හු ඔබගේ දිවැසිවරයන් මැරූ හ, ඔබගේ පූජාසන බිඳලූ හ, මම පමණක් ඉතිරි වී සිටිමි, ඔව්හු මාගේත් දිවි නසන්නට සොයති” යනුයි.</verse>
				<verse number="4">එහෙත් ඔහුට දෙවියන් වහන්සේ දුන් පිළිතුර කුමක් ද? “බාල් දේවතාවාට දණ නොනැමූ සත් දහසක් මනුෂ්‍යයන් මම ඉතිරි කරගතිමි” යනුයි.</verse>
				<verse number="5">එසේ ම දැනුත්, දේව වරප්‍රසාදයෙන් තෝරාගනු ලැබූ ඉතිරි කුඩා පිරිසක් ඇත.</verse>
				<verse number="6">එසේ වූයේ ඔවුන්ගේ ක්‍රියා නිසා නොව දේව වරප්‍රසාදයෙන් ය. ක්‍රියා නිසා එසේ සිදුවුණි නම්, දේව වරප්‍රසාදය කිසි සේත් දේව වරප්‍රසාදය නොවේ.</verse>
				<verse number="7">මෙයින් අපි කුමක් නිගමනය කරමු ද? ඉශ්රායෙල් ජනතාව සෙවූ දේ ඔවුන්ට නොලැබිණි. තෝරාගත් ඉතිරි වූ පිරිසකට එය ලැබිණි. සෙසු අයගේ සිත් දැඩි කරනු ලැබී ය.</verse>
				<verse number="8">ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇති පරිදි: “දෙවියන් වහන්සේ අද දක්වා ම ඔවුන්ට උදාසීනකමක් ද, පෙනීමක් නැති ඇස් ද ඇසීමක් නැති කන් ද දුන් සේක.</verse>
				<verse number="9">තවද දාවිත් කතා කොට: “ඔවුන්ගේ කෑම් බීම් ඔවුන්ට මලපතක් හා උගුලක් ද බාධකයක් හා දුර්විපාකයක් ද කරනු ලැබේ වා.</verse>
				<verse number="10">නොපෙනෙන සේ ඔවුන්ගේ ඇස් ඇඳිරි වේ වා, නිතර ම ඔවුන්ගේ පිටකොන්ද බරෙන් නැමුව මැනව”යි කියයි.</verse>
				<verse number="11">එසේ වී නම්, ඔවුන් පැකුළුණේ වැටෙන පිණිස දැ යි ප්‍රශ්න කරමි. එසේ නොවේ. ඉශ්රායෙල් ජාතියේ වැටීම හේතුකොටගෙන විජාතීන්ට ගැළවීම පැමිණ තිබේ. එසේ වූයේ ඉශ්රායෙල්වරුන් තුළ උනන්දුව පුබුදුවන පිණිස ය.</verse>
				<verse number="12">ඉදින් ඔවුන්ගේ වැටීම ලෝකයාට සුබ සෙත පිණිස ද ඔවුන්ගේ පිරිහීම විජාතීන්ට සුබ සෙත පිණිස ද වේ නම්, ඔවුන්ගේ සම්පූර්ණ නැඟීම කොපමණ වැඩියෙන් සුබ සෙත පිණිස නොවන්නේ ද?</verse>
				<verse number="13">දැන් මා කතා කරන්නේ විජාතීන් වන ඔබට ය. විජාතීන්ට ප්‍රේරිතයෙකු ව සිටින බැවින් මම මාගේ මෙහෙය උසස් කොට සලකමි.</verse>
				<verse number="14">එසේ සලකන්නේ, යම් හෙයකින් මාගේ ම ජාතියේ සෙනඟ උනන්දු කරවා ඔවුන්ගෙන් සමහරෙකු ගළවාගන්නා පිණිස ය.</verse>
				<verse number="15">මන්ද, ඔවුන් ප්‍රතික්ෂේප කිරීම, ලෝකයා දෙවියන් වහන්සේ හා සමඟි කිරීමට මඟක් වී නම්, ඔවුන් පිළිගැනීම, මරණයෙන් ජීවනය ලැබීමක් විනා, අන් කුමක් වන්නේ ද?</verse>
				<verse number="16">තවද මුලින් දමන පිටි අහුර දෙවියන්ට කැප කර ඇත්නම්, පිපෙන මුළු පිඩ ද කැප වී ඇත. ගසේ මුල කැප කර ඇත්නම්, අතු ද කැප වී ඇත.</verse>
				<verse number="17">එහෙත් ඔලීව ගසේ සමහර අතු කපාදමනු ලැබ, වල් ඔලීව ගසක් වන ඔබ ඊට බද්ධ කර, පළමු ඔලීව ගසේ සාරයට හා මුලට මෙසේ යාවුණි නම්,</verse>
				<verse number="18">ඒ අතු ගැන පාරට්ටු නොකරන්න. ඔබ එසේ සිතන්නහු නම්, ඔබ මුල උසුලනවා නොව, මුල ඔබ උසුලන බව සිතට ගන්න.</verse>
				<verse number="19">එසේ වී නම්, මා බද්ධ කරන පිණිස අතු කපනු ලැබී යයි ඔබ කියනු විය හැකි ය.</verse>
				<verse number="20">එය සැබෑ ම ය. ඒවා කපනු ලැබුවේ අවිශ්වාසය නිසා ය. එහෙත් ඔබ ස්ථීර ව සිටින්නේ විශ්වාසය නිසා ය. ඒ නිසා අහංකාර නොවී දේව ගරුබිය ඇති ව සිටින්න.</verse>
				<verse number="21">මන්ද, දෙවියන් වහන්සේ මුල් ගසේ අතු වෙන් කළ සේක් නම්, ඔබ ද ඉවත් කරන සේක.</verse>
				<verse number="22">එබැවින් දෙවියන් වහන්සේගේ කරුණාවත්, තද ගතියත් තේරුම්ගන්න. වැටී ගිය අය කෙරෙහි උන් වහන්සේ තදින් ක්‍රියා කරන සේක; එහෙත් උන් වහන්සේගේ කරුණාවෙහි පවතින ඔබ ගැන කරුණාවෙන් ක්‍රියා කරන සේක. එසේ නොපවතින්නහු නම් ඔබත් කපා ඉවත් කරනු ඇත.</verse>
				<verse number="23">අවිශ්වාසයෙහි නොපැවතුණොත් ජුදෙව්වරුන් ද බද්ධ කරනු ඇත. ඔවුන් නැවත බද්ධ කිරීමට දෙවියන් වහන්සේට පුළුවන.</verse>
				<verse number="24">මන්ද, විජාතීන් වන ඔබ ස්වභාවයෙන් ම අයිති වූ වල් ඔලීව ගසින් කපනු ලැබ, ස්වභාවයට විරුද්ධ ව හොඳ ඔලීව ගසකට බද්ධ කරනු ලද්දාහු නම් ස්වාභාවික අතු වන ජුදෙව්වරුන් ඔවුන්ගේ ම ඔලීව ගසට නැවත බද්ධ කිරීම ඊටත් වඩා පහසු නොවේ ද?</verse>
				<verse number="25">සහෝදරයෙනි, ඔබ ඥානවන්තයෝ යයි සිතමින් අහංකාර නොවන පිණිස ඔබ දත යුතු අබිරහසක් ඇතැ යි සිතමි. එනම්, ඉශ්රායෙල් ජනතාව තුළ තරමක සිත් දැඩිකමක් පවතින්නේ විජාතීන් සියලු දෙනා ම ගැළවීම ලබන තුරු පමණකි.</verse>
				<verse number="26">ඉන්පසු මුළු ඉශ්රායෙල් ජනතාව ම ගැළවීම ලබන්නෝ ය. ඒ බවට: “සියොන්හි සිට ගැළවුම්කාරයාණෝ වඩින සේක; උන් වහන්සේ ජාකොබ්ගේ පෙළපතින් දුෂ්ටකම දුරු කරන සේක.</verse>
				<verse number="27">ඔවුන්ගේ පාප දුර ලන කල, ඔවුන් සමඟ මම මේ ගිවිසුම කරගතිමි”යි ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇත.</verse>
				<verse number="28">ජුදෙව්වරුන් සුබ අස්න ප්‍රතික්ෂේප කළ නිසා ඔව්හු දෙවියන් වහන්සේගේ සතුරෝ වූ හ. එය ඔබගේ යහපතට හැරුණි. එහෙත් ඔවුන්ගේ පියවරුන් නිසා දෙවියන් වහන්සේ ඔවුන් තෝරාගත් බැවින්, ඔව්හු දෙවියන් වහන්සේගේ මිත්‍රයෝ වූ හ.</verse>
				<verse number="29">දෙවියන් වහන්සේ සිය දීමනා ද කැඳවීම ද වෙනස් නොකරන සේක.</verse>
				<verse number="30">විජාතීන් වන ඔබ යටගිය දවස, දෙවියන් වහන්සේට අකීකරු ව සිටි නමුත්, ජුදෙව්වරුන්ගේ අකීකරුකම නිසා දැන් ඔබ කරුණාව ලබා ඇත.</verse>
				<verse number="31">එසේ ම, ඔවුන් දැන් අකීකරු ව සිටින්නේ, ඔබට දක්වන ලද කරුණාව නිසා ඔවුනුත් කරුණාව ලබන පිණිස ය.</verse>
				<verse number="32">මන්ද, දෙවියන් වහන්සේ සකල සත්වයන්ට කරුණාව දක්වන පිණිස, සකල සත්වයන් අකීකරුකම නමැති බන්ධනාගාරයෙහි තැබූ සේක.</verse>
				<verse number="33">දෙවියන් වහන්සේගේ වරප්‍රසාද සම්භාරය කෙතරම් විශාල ද? උන් වහන්සේගේ ප්‍රඥාව සහ ඥානය කෙතරම් ගැඹුරු ද? උන් වහන්සේගේ විනිශ්චයන් කෙතරම් අචින්ත්‍ය ද? උන් වහන්සේගේ ක්‍රියා මාර්ග කෙතරම් වර්ණනා විෂයාතික්‍රාන්ත ද? ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත:</verse>
				<verse number="34">
					“සමිඳාණන් වහන්සේගේ සිත තේරුම්ගත්තේ කවරෙක් ද?
					උන් වහන්සේට පුරෝහිතයා වූයේ කවරෙක් ද?
				</verse>
				<verse number="35">
					උන් වහන්සේගෙන් ප්‍රතිඵලයක් ලබන පිණිස පළමුකොට උන් වහන්සේට යමක් දුන්නේ කවරෙක් ද?”
				</verse>
				<verse number="36">මන්ද සියල්ල මවා වදාරන්නේ උන් වහන්සේ ය; සියල්ල රක්ෂා කරන්නේ උන් වහන්සේ ය; සියල්ල අර්ථාන්විත කරන්නේ උන් වහන්සේ ය. උන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">සහෝදරයෙනි, දෙවියන් වහන්සේ ඉමහත් දයාවක් පෙන් වූ බැවින්, ඔබගේ ශරීර දෙවියන් වහන්සේට කැප කළ, උන් වහන්සේට ප්‍රසන්න වූ ජීවමාන යාගයක් කොට ඔප්පු කරන මෙන් ඔබගෙන් උදක් ම ඉල්ලමි. සැබෑ බුද්ධිමය නමස්කාරය එය වේ.</verse>
				<verse number="2">ඔබ ලෝක ව්‍යවහාරය අනුව හැඩ නොගැසී, සිත අලුත් කරගැනීමෙන් වෙනස් අය වන්න. එවිට, දෙවියන් වහන්සේගේ කැමැත්ත, එනම්, යහපත් වූ, පිළිගත යුතු වූ, සම්පූර්ණ වූ දේ කුමක් ද කියා ඔබට තේරුම්ගත හැකි ය.</verse>
				<verse number="3">ඔබ එකිනෙකා පමණට වඩා තමන් ගැන ඉහළින් නොසිතන ලෙසත්, දෙවියන් වහන්සේ එකිනෙකාට ප්‍රදානය කළ ඇදහිල්ලේ ප්‍රමාණයට තැන්පත් සිතින් සිතන ලෙසත්, මට දී ඇති දේව වරප්‍රසාදය අනුව ඔබ එකිනෙකාට කියමි.</verse>
				<verse number="4">එක ම මිනිස් සිරුරෙහි අපට බොහෝ අවයව ඇතත්, ඒ අවයවයෝ එක ම කාර්යය නොකරති.</verse>
				<verse number="5">එසේ ම බොහෝ දෙනෙක් වූ අපිත් ක්‍රිස්තුන් වහන්සේ හා සම්බන්ධ ව එක ශරීරයක් වී, එහි වෙන් වෙන් වශයෙන් අන්‍යොන්‍ය අවයවයෝ වම්හ.</verse>
				<verse number="6">අපට දෙන ලද දේව වරප්‍රසාදය අනුව අපේ කුශලතා විවිධ ය. ඒ කුශලතාව දහම් දෙසීම පිණිස නම්, අපේ ඇදහිල්ලේ ප්‍රමාණය අනුව දහම් දෙසමු.</verse>
				<verse number="7">එය ශුභ සාධක සේවය නම්, ඒ සේවයෙහි නිරත වෙමු. ගුරුවරයා ගුරු සේවයෙහි යෙදේ වා.</verse>
				<verse number="8">අනුශාසකයා තම අනුශාසනා දීමට කැප වේ වා; ආධාර දෙන්නා ත්‍යාගශීලී ව දේ වා; මූලිකත්වය දරන්නා උද්‍යෝගිමත් ව සිටී වා; ලෙඩදුකට පිහිට වන්නා ප්‍රීතියෙන් එසේ කෙරේ වා.</verse>
				<verse number="9">ප්‍රේමය අවංක වේ වා. නපුර පිළිකුල් කොට, යහපතට ඇලුම් වන්න.</verse>
				<verse number="10">සුහද සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ප්‍රේම කරන්න. ගෞරවයෙන් තමාට වඩා අනෙක් අය උතුම් කොට සලකන්න.</verse>
				<verse number="11">අලසකමින් තොර ව, කාර්යශීලී වන්න; උද්‍යෝගිමත් හදකින් සමිඳාණන් වහන්සේට සේවය කරන්න;</verse>
				<verse number="12">බලාපොරොත්තුවෙහි ප්‍රීති වන්න; විපතේ දී ඉවසිලිමත් වන්න; යාච්ඤාවෙහි නොකඩව යෙදෙන්න;</verse>
				<verse number="13">සැදැහැවතුන්ගේ ඕනෑඑපාකම් වල දී උපකාර කරන්න. ආගන්තුක සත්කාරයට ලැදි ව සිටින්න.</verse>
				<verse number="14">ඔබට පීඩා කරන්නන්ට ආශීර්වාද කරන්න, සාප නොකර ආශීර්වාද ම කරන්න.</verse>
				<verse number="15">ප්‍රීති වන්නන් සමඟ ප්‍රීති වන්න, ශෝක වන්නන් සමඟ ශෝක වන්න.</verse>
				<verse number="16">හැම දෙනා සමඟ එක් සිත් ව ඉන්න, අහංකාර නොවී, යටහත් පහත් අය ආශ්‍රය කරන්න. ඔබ ප්‍රඥාවන්ත යයි සිතා උඩඟු නොවන්න.</verse>
				<verse number="17">කිසිවෙකුට නපුරට නපුර නොකරන්න. සියල්ලන් ඉදිරියෙහි උසස් යයි සම්මත දේ කිරීමට සිතට ගන්න.</verse>
				<verse number="18">ඔබට හැකි පමණට හැම දෙනා සමඟ සාමකාමී ව සිටීමට උත්සාහ කරන්න.</verse>
				<verse number="19">මිත්‍රවරුනි, පළි ගැනීමෙන් තොර ව, දේව උදහස ක්‍රියා කිරීමට ඉඩ හරින්න. මන්ද: “ ‘පළිගැනීම මා සතු ය, මම විපාක දෙමි’යි සමිඳාණන් වහන්සේ පවසන සේකැ”යි ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත.</verse>
				<verse number="20">මෙසේ ද ලියා ඇත: “ඔබේ සතුරාට බඩගිනි නම් කන්නට දෙන්න. පිපාස නම් බොන්නට දෙන්න; එවිට ඔහු හිස ගිනිගත් කෙනෙකු මෙන් ලජ්ජාවෙන් දැවෙනු ඇත.”</verse>
				<verse number="21">නපුරෙන් පරාජය නොවී, යහපතින් නපුර පරාජය කරන්න.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">බලය ලත් රාජ්‍ය පාලකයන්ට සෑම දෙනා ම කීකරු වෙත් වා! දෙවියන් වහන්සේගෙන් ලැබෙන බලය හැර අන් බලයක් නැත. දැනට සිටින රාජ්‍ය පාලකයෝ දෙවියන් වහන්සේ විසින් පත් කරනු ලැබූ අය වෙ‍ති.</verse>
				<verse number="2">එබැවින් පාලක බලයට විරුද්ධ වන අය දේව නියමයට විරුද්ධ වෙ‍ති. එසේ විරුද්ධ වන අය තමන්ට ම දඬුවම් පමුණුවාගනිති.</verse>
				<verse number="3">රාජ්‍ය පාලකයෝ අයහපතට මිස යහපතට බිය උපදවන්නෝ නොවෙ‍ති. ඔබ රාජ්‍ය පාලකයාට බිය නොවී ඉන්නට කැමැත්තෙහි ද? එසේ නම්, යහපත කරන්න. එවිට ඔහුගෙන් ඔබට ප්‍රශංසාව ලැබෙයි.</verse>
				<verse number="4">මන්ද, ඔහු ඔබගේ යහපත පිණිස දෙවියන් වහන්සේ පත් කළ සේවකයා වේ. එහෙත් ඔබ වරද කරන්නෙහි නම්, බිය වන්න. මන්ද, ඔහු, කඩුව දරන්නේ නිකමට නොවේ; ඔහු දෙවියන් වහන්සේගේ සේවකයෙක් ව, වරද කරන්නාට දේව උදහස විදහා පානා දඬුවම් දීමේ ආයුධයකි.</verse>
				<verse number="5">එහෙත් දේව උදහස නිසා පමණක් නොව, ඔබගේ හෘදය සාක්ෂිය නිසා ද ඔහුට කීකරු විය යුතු ය.</verse>
				<verse number="6">ඔබ අයබදු ගෙවන්නේත් ඒ නිසා ය. රාජ්‍ය පාලකයෝ සිය යුතුකම් නොපිරි හෙළා ඉටු කරන දෙවියන් වහන්සේගේ සේවකයෝ වෙ‍ති.</verse>
				<verse number="7">එබැවින් හැමට ම දිය යුතු දෙය දෙන්න; වරිපනම්, ගෙවිය යුත්තාට වරිපනම් ද අයබදු ගෙවිය යුත්තාට අයබදු ද දෙන්න. පිදිය යුත්තාට පුදන්න, ගරු කළ යුත්තාට ගරු කරන්න.</verse>
				<verse number="8">එකිනෙකාට ප්‍රේම කිරීම හැර අන් කිසිවක් ගැන කිසිවෙකුට ණය ගැති නොවන්න. අසල්වැසියාට ප්‍රේම කරන්නෝ ව්‍යවස්ථාව ඉටු කරති.</verse>
				<verse number="9">මන්ද, “කාමමිථ්‍යාචාරය නොකරන්න, මිනී නොමරන්න, සොරකම් නොකරන්න, ලෝභ නොවන්න” යන ආඥා ද තවත් අමතර ආඥා ඇත්නම් ඒවා ද, “නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න” යන පාඨයෙහි සම්පිණ්ඩනය වී ඇත.</verse>
				<verse number="10">ප්‍රේමය අසල්වැසියාට නපුරක් නොකරයි. එබැවින් ප්‍රේමය නම් ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ඉටු කිරීම ය.</verse>
				<verse number="11">මේ සියල්ලෙහි දී, තීරණාත්මක කාලය පැමිණ ඇති බව සිතට ගන්න. මෙය නින්දෙන් පිබිද සිටිය යුතු වේලාව ය. මන්ද, අප ඇදහීමට පටන්ගත් කාලයට වඩා, අපේ ගැළවීම දැන් ළං වී ඇත.</verse>
				<verse number="12">රැය බොහෝ දුරට ගෙවී ඇත. දිවා කාලය ළඟ ය; එබැවින් අන්ධකාරයේ ක්‍රියා ඉවත ලා, ආලෝකයේ අවිආයුධ පැළඳගනිමු.</verse>
				<verse number="13">අපේ කල්ක්‍රියාව දිවා කාලයට ඔබින සේ විය යුතු යි; අශෝභන උත්සවවලින් ද මධුපානෝත්සවයෙන් ද කාම තෘෂ්ණාවෙන් ද සල්ලාලකමින් ද අඩදබර හා ඊර්ෂ්‍යාවෙන් ද වැළකී සිටිමු.</verse>
				<verse number="14">ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නමැති සන්නාහයෙන් සන්නද්ධ වන්න. මින් මතු පසිඳුරන් පිනවන පිණිස පාප ආශාවනට ඉඩ නොදෙන්න.</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">ඇදහිල්ලෙහි දුර්වල තැනැත්තා සතුටින් පිළිගන්න; එසේ කළ යුත්තේ ඔහු දරන මත ගැන වාද විවාද කිරීම පිණිස නොවේ.</verse>
				<verse number="2">කොයි දේත් කන්න නිදහස ඇතැ යි කෙනෙක් සිතයි. ඇදහිල්ලෙහි දුර්වල වූ තැනැත්තා එළවළු පමණක් කන්නේ ය.</verse>
				<verse number="3">කොයි දේත් කන තැනැත්තා එසේ නොකන තැනැත්තාට අවමන් නොකෙරේ වා; නොකන තැනැත්තා ද කන තැනැත්තා විනිශ්චය නොකෙරේ වා. මන්ද, දෙවියන් වහන්සේ ඔහු පිළිගෙන ඇත.</verse>
				<verse number="4">අන් කෙනෙකුගේ මෙහෙකරුවා විනිශ්චය කිරීමට ඔබ කවරෙක් ද? ඔහුගේ නැඟීම හෝ වැටීම හෝ පිළිබඳ තීරණය ඔහුගේ ම ස්වාමියා සතු ය. ඔහුගේ නැඟීම ගැන සැකයක් නැත, ඔහු නඟා සිටු වීමට සමිඳාණන් වහන්සේට පුළුවන්කම ඇත.</verse>
				<verse number="5">එක් කෙනෙක් එක දවසක් වෙන දවසකට වඩා සුබ යයි සිතයි; වෙන කෙනෙක් හැම දවසක් ම එක සමාන යයි සිතයි. මෙවැනි කරුණු ගැන එකිනෙකා තම තමාගේ ම සිතට එකඟ ව නිසැක තීරණයක් ගත යුතු ය.</verse>
				<verse number="6">යම් දවසක් උසස් කොට සලකන්නා එසේ කරන්නේ සමිඳාණන් වහන්සේ උදෙසා ය. කොයි දේත් කන තැනැත්තා ද දෙවියන් වහන්සේට ස්තුති දී කන බැවින්, කන්නේ සමිඳාණන් වහන්සේ උදෙසා ය. එසේ නොකන තැනැත්තාත් දෙවියන් වහන්සේට ස්තුති දී නොකා සිටින බැවින් එය කරන්නේ ද සමිඳාණන් වහන්සේ උදෙසා ය.</verse>
				<verse number="7">අපෙන් කිසිවෙකු තමා ම උදෙසා ජීවත් වන්නේ වත්, තමා ම උදෙසා නසින්නේ වත් නැත.</verse>
				<verse number="8">අපි ජීවත් වෙමු නම් සමිඳාණන් වහන්සේ උදෙසා ජීවත් වෙමු. නසිමු නම් සමිඳාණන් වහන්සේ උදෙසා නසිමු. අපි ජීවිතයේදීත් මරණයේදීත් සමිඳාණන් වහන්සේගේ ම වෙමු.</verse>
				<verse number="9">ක්‍රිස්තුන් වහන්සේ මැරුණෙත්, යළි උත්ථාන වූයේත් මළවුන්ගේ ද ජීවතුන්ගේ ද සමිඳාණන් වහන්සේ වන පිණිස ය.</verse>
				<verse number="10">එසේ නම් ඔබ ඔබේ සහෝදරයා විනිශ්චය කරන්නේ මන් ද? ඔබේ සහෝදරයා හෙළා දකින්නේ මන් ද? අප සියල්ලන් ම දෙවියන් වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි පෙනී සිටිනු ඇත.</verse>
				<verse number="11">තවද: “මා ජීවත් ව සිටින බව සැබෑ වන්නා සේ ම, හැම දෙනා ම මට දණ නමනු ඇත, හැම දෙනා ම මා දෙවියන් වහන්සේ බව ප්‍රකාශ කරනු ඇතැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත.</verse>
				<verse number="12">එහෙයින් අප එකිනෙකා තම තමා ගැන දෙවියන් වහන්සේට ගණන් දෙනු ඇත.</verse>
				<verse number="13">එබැවින් අපි එකිනෙකා විනිශ්චය කිරීමෙන් වැළකෙමු. එසේ නොකර, සහෝදරයෙකුගේ පැකිළීමට හෝ වැටීමට හෝ හේතු වන කිසිවක් නොකර සිටීමට තීරණය කරගනිමු.</verse>
				<verse number="14">ස්වභාවයෙන් ම අපවිත්‍ර වූ කිසිවක් නැතැ යි කිතුනුවකු වශයෙන් මම සහතික ලෙස දනිමි. යමක් අපවිත්‍ර යයි සිතන තැනැත්තාට එය අපවිත්‍ර ය.</verse>
				<verse number="15">ඔබ කන කෑමක් නිසා ඔබේ සහෝදරයාට තද සිත් වේදනාවක් ඇති වේ නම්, ඔබේ හැසිරීම ප්‍රේමයෙන් තොර ය. ඔහු උදෙසා ක්‍රිස්තුන් වහන්සේ දිවි පිදූ බැවින්, ඔබ කන දේ නිසා ඔහු විනාශ වීමට ඉඩ නොහරින්න.</verse>
				<verse number="16">ඔබට යහපත සේ පෙනෙන දේ අපවාදයකට හේතුවක් නොවේ වා.</verse>
				<verse number="17">දෙවියන් වහන්සේගේ රාජ්‍යය වනාහි කා බී ප්‍රීතිවීමක් නොව, යුක්තිය ද සාමය ද ශුද්ධාත්මයාණන් වහන්සේ කෙරෙන් එන ප්‍රීතිය ද වේ.</verse>
				<verse number="18">එලෙස ක්‍රිස්තුන් වහන්සේට සේවය කරන්නා දෙවියන් වහන්සේගෙන් ප්‍රසාදයත්, මිනිසුන්ගෙන් ප්‍රශංසා වත් දිනාගනී.</verse>
				<verse number="19">එබැවින් අපි සාමය උපදවන අන්‍යොන්‍ය ශුභසිද්ධිය සලසන දෙය අනුගමනය කරමු.</verse>
				<verse number="20">කෑම නිසා දේව සේවය කඩාකප්පල් නොකරන්න. හැම කෑමක් ම පවිත්‍ර ය; එහෙත් අන්කෙනෙකුගේ වැටීමට හේතු වන සේ කෑම කන මනුෂ්‍යයාට අවැඩක් සිදු වේ.</verse>
				<verse number="21">මස් කෑමෙන් වත්, මද්‍යපානයෙන් වත්, අන් කිසි දෙයකින් වත් ඔබේ සහෝදරයාට බාධාවක් වේ නම්, එයින් වැළකී සිටීම යහපති.</verse>
				<verse number="22">ඔබගේ පෞද්ගලික මත දෙවියන් වහන්සේත්, ඔබත් අතර තබාගන්න. තමා හරි යයි පිළිගන්නා දේ ගැන යමෙකුගේ සිත දොස් නොකියයි නම් ඒ මිනිසා වාසනාවන්තයෙකි.</verse>
				<verse number="23">එහෙත් සැක සිතින් කන තැනැත්තා විශ්වාසයට විරුද්ධ ව කන බැවින්, වරදකරුවෙකු බවට තීන්දු වේ. විශ්වාසයට එකඟ නොවන හැම දෙය ම පාපයකි.</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">තවද ඇදහිල්ලෙහි ශක්තිමත් වූ අපි, අප ගැන ම නොසිතා ඇදහිල්ලෙහි දුර්වල වූවන්ගේ ප්‍රමාද දෝෂ ඉවසීමෙන් දරාගනිමු.</verse>
				<verse number="2">අප එකිනෙකා තම අසල්වැසියාගේ ශුභසිද්ධිය සලසන සේ, ඔහුගේ යහපත තකා ඔහු සතුටු කළ යුතු ය.</verse>
				<verse number="3">“ඔබට නින්දා කළ අයගේ නින්දාව මා පිට පැමිණියේ ය”යි ලියා ඇති ලෙස, ක්‍රිස්තුන් වහන්සේ වුව ද තමන්ගේ ම සතුට නොසෙව් සේක.</verse>
				<verse number="4">ආදියෙහි ශුද්ධ ලියවිල්ලේ ලියන ලද සියල්ල, එයින් ඇති වන ඉවසීමෙන් ද සැනසීමෙන් ද අපට බලාපොරොත්තුව උදා වන පිණිස, අපේ ඉගෙනීම සඳහා ලියන ලද්දේ ය.</verse>
				<verse number="5">ඔබ එක සිතින්, එක මුවින් ඔබගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස,</verse>
				<verse number="6">ක්‍රිස්තුන් වහන්සේගේ ආදර්ශය ලෙස ඔබ එකිනෙකා සමඟ එක්සිත් ව විසීමට, ඉවසිල්ලේ හා ධෛර්යයේ උල්පත වූ දෙවියන් වහන්සේ ඔබට වරම් දෙන සේක් වා!</verse>
				<verse number="7">එහෙයින් දෙවියන් වහන්සේගේ තේජශ්‍රීය දක්වන පිණිස ක්‍රිස්තුන් වහන්සේ ඔබ පිළිගත් ලෙස ම, ඔබත් එකිනෙකා පිළිගන්න.</verse>
				<verse number="8">මන්ද, ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ සත්‍යතාවය දක්වන පිණිස ජුදෙව් ජනතාවගේ සේවකයෙකු වූ සේකැ යි කියමි. එසේ වූයේ පිතෘවරයන්ට දුන් පොරොන්දු ස්ථීර කරන පිණිසත්,</verse>
				<verse number="9">විජාතීන් විසින් දෙවියන් වහන්සේගේ දයාව ගැන උන් වහන්සේට ගෞරව කරන පිණිසත් ය. ශුද්ධ ලියවිල්ලෙහි: “එබැවින් විජාතීන් අතර ඔබ පසසන්නෙමි. ඔබගේ නාමයට ගී ගයන්නෙමි”යි ලියා ඇත.</verse>
				<verse number="10">නැවතත්: “විජාතීනි, උන් වහන්සේගේ සෙනඟ සමඟ ප්‍රීති ප්‍රමෝද වන්නැ”යි කියා ඇත.</verse>
				<verse number="11">තවදුරටත්: “සියලු විජාතීනි, සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්න; සියලු ජාතීහු උන් වහන්සේට ප්‍රශංසා කරත්වා”යි ලියා ඇත.</verse>
				<verse number="12">තවද: “ජෙස්සේගේ පෙළපතින් පැවත එන්නා වූ ද, විජාතීන් පාලනය කිරීමට නැඟ එන්නා වූ ද, තැනැන් වහන්සේ වඩින සේක; උන් වහන්සේ තුළ විජාතීන් බලාපොරොත්තු වනු ඇතැ”යි යෙසායා කියයි.</verse>
				<verse number="13">තවද ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් ඔබගේ බලාපොරොත්තුව පිරී ඉතිරී යන පිණිස, බලාපොරොත්තුවේ උල්පත වූ දෙවියන් වහන්සේ ඔබේ ඇදහීම නිසා සියලු ප්‍රීතියෙන් හා සාමදානයෙන් ඔබ පූර්ණ කරන සේක් වා.</verse>
				<verse number="14">සහෝදරයෙනි, ඔබ යහපත්කමින් පිරුණු, ප්‍රඥාසම්පන්න ව, එකිනෙකාට අවවාදානුශාසනා දීමෙහි පොහොසත් අය බව මම ඒකාන්තයෙන් දනිමි.</verse>
				<verse number="15">එහෙත් ඔබට ඇතැම් කරුණු සිහි කර දීමක් වශයෙන් මේ හසුනේ සමහර තැන්වල නිර්භීත ලෙස ඔබ වෙත ලියා ඇත.</verse>
				<verse number="16">එසේ ලියන්නේ, විජාතීන් උදෙසා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයෙකු වීමට දෙවියන් වහන්සේ මට දෙවා වදාළ වරප්‍රසාදය නිසා ය. ඒ පූජක සේවය, විජාතීන් ශුද්ධාත්මයාණන් විසින් කැප කරනු ලැබ, දෙවියන් වහන්සේට ප්‍රියමනාප පූජාවක් වන අයුරින් සුබ අස්න දේශනා කිරීම ය.</verse>
				<verse number="17">ක්‍රිස්තුස් ජේසුස් වහන්සේට අයත් කෙනෙකු ලෙස දේව සේවාව ගැන මම උදන් අනමි.</verse>
				<verse number="18">වචනයෙන් හා ක්‍රියාවෙන් ද හාස්කම් හා අරුමපුදුමවල අනුහසින් ද</verse>
				<verse number="19">ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් ද විජාතීන් තමන් වහන්සේට පක්ෂපාත කරවන ලෙස ක්‍රිස්තුන් වහන්සේ මා ලවා කළ අරුමපුදුම දේ ද ලකුණු ද ගැන මිස අන් කිසිවක් ගැන කතා කිරීමට මම ධෛර්යවත් නොවෙමි. මෙසේ මම ජෙරුසලමේ සිට ඉල්ලුරිකය දක්වා ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න දේශනා කොට නිම කෙළෙමි.</verse>
				<verse number="20">හැම විට ම මාගේ පරමාර්ථය වූයේ, අන් කෙනෙකු දැමූ පදනමක් පිට ගොඩනැඟීමෙන් වැළකෙන පිණිස, කවරදා වත් ක්‍රිස්තුන් වහන්සේගේ නාමය සඳහන් නොවූ තැන්වල සුබ අස්න දේශනා කිරීම ය.</verse>
				<verse number="21">මන්ද: “උන් වහන්සේ ගැන ආරංචියක් නොලත් අය උන් වහන්සේ දකිති. උන් වහන්සේ ගැන නෑසූ අය උන් වහන්සේ තේරුම්ගනිති”යි ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත.</verse>
				<verse number="22">ඔබ වෙත මාගේ පැමිණීම කීප වරක් වැළකුණේ ඒ නිසා ය.</verse>
				<verse number="23">එහෙත් දැන් මේ පෙදෙස්වල මාගේ සේවයට තවත් ඉඩක් නැති බැවින් ද කවදා හෝ ස්පාඤ්ඤයට යන ගමන් ඔබ වෙත එන්නට ආශාවක් අවුරුදු ගණනාවක් තුළ මට තිබුණු බැවින් ද එහි යන විට රෝමයට එන්නට බලාපොරොත්තු වෙමි.</verse>
				<verse number="24">එසේ යද්දී ඔබ දකින්ට ද, ටික කලක් ඔබ සමඟ නැවතීමේ ප්‍රීතිය විඳින්න ද ඉන්පසු ඔබේ ආධාරත් ඇති ව ඒ ගමන යන්න ද බලාපොරොත්තු වෙමි.</verse>
				<verse number="25">එහෙත් දැන් ජෙරුසලමේ දෙවියන් වහන්සේගේ සෙනඟට උපස්ථාන කරන පිණිස එහි යමි.</verse>
				<verse number="26">මන්ද, ජෙරුසලමෙහි දෙවියන් වහන්සේගේ සෙනඟ අතර සිටින දිළිඳුන් උදෙසා සම්මාදමක් කිරීමට මසිදෝනියේත් ග්‍රීසියේත් සභාවන් තීරණය කර ඇත.</verse>
				<verse number="27">එය ඔවුන් සිය කැමැත්තෙන් කළ තීරණයකි. ඒ ඇරත්, එසේ කිරීම ඔවුන්ගේ යුතුකම ය. මන්ද, විජාතීන් ජුදෙව්වරුන්ගේ ආධ්‍යාත්මික ආශීර්වාදවලින් ප්‍රයෝජන ලැබුවා සේ ම, ජුදෙව්වරුන්ගේ භෞතික අවශ්‍යතාවල දී ඔවුන්ට ආධාර දීමට විජාතීහු බැඳී සිටිති.</verse>
				<verse number="28">එබැවින් මම මේ කාර්යය ඉටු කර, මේ සම්මාදම් මුදල ඔවුන්ට සුරක්ෂිත කොට බාර දුන් පසු රෝමය පසු කර ස්පාඤ්ඤයට යන්නෙමි.</verse>
				<verse number="29">මා ඔබ වෙත එන විට ක්‍රිස්තුන් වහන්සේගේ ආශීර්වාද රාශියක් ඇති ව එන බව මට සහතික ය.</verse>
				<verse number="30">සහෝදරවරුනි, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමය නිසා ද ශුද්ධාත්මයාණන්ගෙන් නික්මෙන ප්‍රේමය නිසා ද මම ඔබගෙන් බැගෑපත් ව ඉල්ලීමක් කරමි. ඒ ඉල්ලීම නම් ජුදයෙහි සිටින අභක්තිකයන් අතට මා අසු නොවන පිණිසත්,</verse>
				<verse number="31">ජෙරුසලම උදෙසා මා කරන උපස්ථානය දෙවියන් වහන්සේගේ සෙනඟට පිළිගත හැකි දෙයක් වන පිණිසත්, දේව කැමැත්ත අනුව ප්‍රීතියෙන් ඔබ වෙත පැමිණ, ඔබ සමඟ විවේක සුවය ලබන පිණිසත්,</verse>
				<verse number="32">මා උදෙසා ඔබ දෙවියන් වහන්සේට පුද කරන යාච්ඤාවල දී මා සමඟ වීර්යයෙන් යාච්ඤා කරන ලෙස ය.</verse>
				<verse number="33">ශාන්තිදායක දෙවියන් වහන්සේ ඔබ සමඟ වේ වා! ආමෙන්.</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">කෙන්ක්‍රෙයා සභාවේ සේවිකාවක වන ෆීබී නම් අපේ සහෝදරිය මම ඔබට සාදරයෙන් පිළිගන්වමි.</verse>
				<verse number="2">කිතුනු සොහොයුරියක මෙන්, දෙවියන් වහන්සේගේ සෙනඟට ඔබින සේ, ඇය පිළිගන්නා ලෙසත් ඇයගේ කවර වුවමනාවක දී හෝ ඇයට ආධාරෝපකාර කරන ලෙසත් ඉල්ලමි. මන්ද, ඈ මා ඇතුළු තවත් බොහෝ දෙනෙකුට උදව් උපකාර කළ කෙනෙකි.</verse>
				<verse number="3">ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ මාගේ සහකාර සේවකයන් වූ, මා උදෙසා දිවි පිදීමට වුව ද කැමැත්ත පෙන් වූ, ප්‍රිස්කාට ද අකිලාට ද මාගේ ආචාරය පිරිනමන්න.</verse>
				<verse number="4">මා පමණක් නොව, සියලු විජාතික සභාවෝ ද ඔවුන්ට කෘතඥතාව දක්වති.</verse>
				<verse number="5">ඔවුන්ගේ නිවසේ රැස් වන සභාවටත් මාගේ ආචාරය පිරිනමන්න. ආසියාවෙන් ක්‍රිස්තුන් වහන්සේ වෙත මුලින් ම හැරුණු මාගේ කල්‍යාණ මිත්‍රයෙකු වූ එපීනතස්ට ද</verse>
				<verse number="6">ඔබ උදෙසා අධික ලෙස වෙහෙස දැරූ මරියාට ද මාගේ ආචාරය පිරිනමන්න.</verse>
				<verse number="7">මගේ ම රටවැසියන් වූ මා සමඟ සිරගත ව සිටි, අන්ද්‍රෝනිකස්ට හා ජුනියස්ට මාගේ ආචාරය පිරිනමන්න. ප්‍රේරිතයන් අතර කීර්තියක් දරන මොවුහු මට පළමුවෙන් කිතුනුවෝ වූ හ.</verse>
				<verse number="8">ස්වාමීන් වන ක්‍රිස්තුන් වහන්සේ තුළ මාගේ හිත මිතුරු අම්ප්ලියාතුස්ට ද</verse>
				<verse number="9">ක්‍රිස්තුන් වහන්සේ තුළ අපගේ සහකාර සේවකයෙකු වූ උර්බානස්ට ද මාගේ හිත මිතුරු ස්තාකිස්ට ද මාගේ ආචාරය පිරිනමන්න.</verse>
				<verse number="10">ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි අචල බැතිමතෙකු වන අපොල්ලස්ට මාගේ ආචාරය පිරිනමන්න. අරිස්තොබුලස්ගේ ගෘහවාසීන්ට ද</verse>
				<verse number="11">මාගේ නෑයෙකු වන හෙරෝදියෝන්ට ද මාගේ ආචාරය පිරිනමන්න. නාර්කිසස්ගේ ගෘහවාසී කිතුනුවන්ට මාගේ ආචාරය පිරිනමන්න.</verse>
				<verse number="12">කිතුනු සේවයෙහි නිරත වූ තෘපේනාට ද තෘපෝසාට ද කිතුනුවෙකු මෙන් බොහෝ වෙහෙස දරා සේවය කළ හිතවත් පර්සිස්ට ද මාගේ ආචාරය පිරිනමන්න.</verse>
				<verse number="13">සමිඳාණන් වහන්සේගේ විශිෂ්ටතම කිතුනුවෙකු වූ රූපස්ට ද මටත් මවක වැනි වූ ඔහුගේ මවට ද මාගේ ආචාරය පිරිනමන්න.</verse>
				<verse number="14">අසින්ක්‍රිතස්ට ද ප්ලෙගෝන්ට ද හෙරමීස්ට ද පත්‍රෙබස්ට ද හෙර්මස්ට ද ඔහු හා එක් ව වසන සහෝදරයන්ට ද මාගේ ආචාරය පිරිනමන්න.</verse>
				<verse number="15">පිලොලොගස්ට ද ජූලියාට ද නේරියස්ට හා ඔහුගේ සහෝදරියට ද ඔලිම්පස්ට ද ඔවුන් හා එක් ව වසන දෙවියන් වහන්සේගේ සෙනඟට ද මාගේ ආචාරය පිරිනමන්න.</verse>
				<verse number="16">සාම සිඹීමකින් එකිනෙකාට මාගේ ආචාරය පිරිනමන්න. ක්‍රිස්තුන් වහන්සේගේ සියලු සභාවෝ ඔබට ආචාර කරති.</verse>
				<verse number="17">සහෝදරයෙනි, ඔබ පිළිගත් ධර්මයට විරුද්ධ ව භේද උපදවා අකුල් හෙළන අය ගැන හෝදිසියෙන් සිට, ඔවුන්ගෙන් වැළකී සිටින්න.</verse>
				<verse number="18">එබඳු අය අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුන් වහන්සේට නොව, උදරයට සේවය කරති; මිහිරි ඉව්චා බසින් අහිංසක අය මුළා කරති.</verse>
				<verse number="19">සුබ අස්න කෙරෙහි ඔබගේ කීකරුකම පිළිබඳ කීර්තිය දසදිග පැතිර ඇත. එය මට මහත් ප්‍රීතියකි. එසේ වුව ද, ඔබ යහපතෙහි දක්ෂයන් වී නපුරෙහි අදක්ෂයන් වනු දැක්ම මාගේ ආශාවයි.</verse>
				<verse number="20">ශාන්තිදායක දෙවියන් වහන්සේ නොබෝ කලකින් සාතන් ඔබගේ පාද යට සුණු විසුණු කරන සේක. අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදය ඔබ සමඟ වේ වා.</verse>
				<verse number="21">මාගේ සහකාර සේවකයෙකු වන තිමෝතියස් ද මාගේ නෑයන් වන ලුසියස් ද ජාසෝන් ද සෝසිපාතර් ද ඔබ වෙත ඔවුන්ගේ ආචාරය එවති.</verse>
				<verse number="22">(මේ හසුන ලියන තිර්තියස් නම් මම, මාගේත් ආචාරය, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔබ වෙත මේ සමඟ එවමි.)</verse>
				<verse number="23">මට ද මුළු සභාවට ද ආගන්තුක සත්කාරය කරන ගායස් ඔබ වෙත ඔහුගේ ආචාරය එවයි. නගර භාණ්ඩාගාරික තැන්පත් එරස්තස් ද සහෝදර ක්වර්තස් ද ඔබ වෙත ඔවුන්ගේ ආචාර එවති.</verse>
				<verse number="24">අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදය ඔබ සමඟ වේ වා! ආමෙන්.</verse>
				<verse number="25">දෙවියන් වහන්සේට මහිමය වේ වා! ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ පණිවුඩය හා මා දේශනා කළ සුබ අස්න අනුව ද දීර්ඝ යුගයන්හි සැඟවී තිබී දැන් එළිදරව් කොට ඇති අබිරහස අනුව ද ඔබ ඇදහිල්ලෙහි ස්ථීර ලෙස පිහිටුවීමට උන් වහන්සේ පොහොසත් වන සේක.</verse>
				<verse number="26">දැන් වනාහි ඒ අබිරහස දිවැසිවරයන්ගේ ලියවිලිවලින් අනාවරණය කර ඇත. සියල්ලන් ම අදහා කීකරු වන පිණිස, සදාතන දෙවියන් වහන්සේගේ ආඥාවෙන් එය සකල ජාතීන්ට ප්‍රකාශකොට ඇත.</verse>
				<verse number="27">සකල ප්‍රඥාවෙන් යුක්ත වූ අසමසම දෙවියන් වහන්සේට ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන සදහට ම මහිමය වේ වා! ආමෙන්.</verse>
			</chapter>
		</book>
		<book number="46">
			<chapter number="1">
				<verse number="1">ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වීමට දේව කැමැත්ත අනුව කැඳවීම ලත් පාවුලු හා අප සොහොයුරු සොස්තනිස්ගෙන්,</verse>
				<verse number="2">කොරින්තියේ පිහිටා ඇති දෙවියන් වහන්සේගේ සභාව වෙතට ය. එනම්, ඒ සභාවේ ක්‍රිස්තුන් වහන්සේට කැප වූ දෙවියන් වහන්සේගේ සෙනඟ වීමට කැඳවීම ලත් අය ද ඔවුන්ගේත් අපගේත් ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් සෑම තැන්හි අයැදුම් කරන සියල්ලන් ද වෙතට ය.</verse>
				<verse number="3">අපගේ පියාණන් වන දෙවියන් වහන්සේගෙන් ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද කරුණාවත් ශාන්තියත් ඔබට වේ වා!</verse>
				<verse number="4">ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් ඔබට දෙන ලද දේව වරප්‍රසාදය නිසා මම නිතර ම ඔබ ගැන මාගේ දෙවියන් වහන්සේට තුති පුදමි.</verse>
				<verse number="5">මන්ද, ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ සාක්ෂිය ඔබ තුළ ස්ථීර වී තිබුන බැවින්, ඔබ උන් වහන්සේ තුළ, සියලු ආකාර දෙසීම් ද සියලු ආකාර දැනගැනීම් ද ඇතුළු සියලු දෙයින් ධනවත් වී සිටින්නහු ය.</verse>
				<verse number="6">***</verse>
				<verse number="7">මෙසේ ඔබ කිසි ආත්මික දීමනාවකින් නොඅඩු ව අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ එළිදරව් වීම බලා සිටින්නහු ය.</verse>
				<verse number="8">අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ විනිශ්චය දිනයේ දී ඔබ නිදොස් ව සිටින පිණිස උන් වහන්සේ අන්තිමය දක්වා ඔබ ස්ථීර කරන සේක.</verse>
				<verse number="9">ස්වකීය පුත්‍ර වූ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සහභාගිකමට ඔබ කැඳවා වදාළ දෙවියන් වහන්සේ විශ්වාසවන්ත ය.</verse>
				<verse number="10">සහෝදරයෙනි, ඔබ සියලු දෙනා එක දෙය ම කියන ලෙස ද ඔබ අතර භේද නැති ව, එක සිතින් හා එක කල්පනාවෙන් සම්පූර්ණයෙන් එකඟ ව සිටින ලෙස ද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් මම ඔබ හැමගෙන් උදක් ම ඉල්ලා සිටිමි.</verse>
				<verse number="11">සහෝදරයෙනි, මා මෙසේ ඉල්ලන්නේ ඔබ අතර මත භේද පවතින බව ක්ලොයිගේ පවුලේ උදවිය මට සැළ කර ඇති බැවිනි.</verse>
				<verse number="12">මා කියන්නේ මෙය යි: ඔබ අතර ඇතැමෙක්, ‘මම පාවුලුගේ පැත්තට ය’; ඇතැමෙක්, ‘මම අපොල්ලොස්ගේ පැත්තට ය’; ඇතැමෙක්, ‘මම කේපස්ගේ පැත්තට ය’; ඇතැමෙක්, ‘මම ක්‍රිස්තුන් වහන්සේගේ පැත්තට ය’යි කියති.</verse>
				<verse number="13">ක්‍රිස්තුන් වහන්සේ මෙලෙස බෙදා වෙන් කරගත හැකි ද? ඔබ උදෙසා කුරුසියේ ඇණ ගසනු ලැබූවේ පාවුලු ද? එසේ නැත්නම් ඔබ බව්තීස්ම-ස්නාපනය කරනු ලැබුවේ පාවුලුගේ නාමයෙන් ද?</verse>
				<verse number="14">ක්‍රිස්පස් හා ගායස් හැර වෙන කිසිවෙකු මා විසින් බව්තීස්ම-ස්නාපනය කරනු නොලැබීම ගැන මම සතුටු වෙමි.</verse>
				<verse number="15">එබැවින් මාගේ නාමයෙන් බව්තීස්ම-ස්නාපනය ලැබුවේ යයි ඔබ අතරෙන් කිසිවෙකුට කිව නොහැක.</verse>
				<verse number="16">මා ස්තේපානස්ගේ පවුලේ උදවිය බව්තීස්ම-ස්නාපනය කළ බව නම් සැබෑ ය. ඒ හැර මා වෙන කිසිවෙකු බව්තීස්ම-ස්නාපනය කළ බවක් නොදනිමි.</verse>
				<verse number="17">ක්‍රිස්තුන් වහන්සේ මා යැව්වේ බව්තීස්ම-ස්නාපනය කිරීමට නොව, සුබ අස්න දේශනා කිරීමට ය. එහෙත් මා එය කළ යුත්තේ මාගේ වියත් කථික බලයෙන් නොවේ. කුමක් හෙයින් ද, මා එසේ කළහොත් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසියේ බලය නිෂ්ප්‍රභ වන බැවිනි.</verse>
				<verse number="18">කුරුසියේ පණිවුඩය, විනාශ වන අයට විකාර දෙඩුමකි. එහෙත් විමුක්තිය ලබන අපට එය දෙවියන් වහන්සේගේ බලය වේ.</verse>
				<verse number="19">මේ ගැන ශුද්ධ ලියවිල්ලේ මෙසේ ලියා ඇත: “මම ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව වනසාලමි; මම නැණවතුන්ගේ නැණවත්කම පහ කරමි.” යනු යි.</verse>
				<verse number="20">ප්‍රඥාවන්තයා කොයි ද? විනයධරයා කොයි ද? මේ යුගයේ වාද කරන්නා කොයි ද? මේ ලො‍්කයේ ප්‍රඥාව ප්‍රලාපයක් බව දෙවියන් වහන්සේ හෙළි කර ඇත.</verse>
				<verse number="21">මන්ද, දෙවියන් වහන්සේගේ ප්‍රඥාවන්ත සැලැස්ම අනුව ලෝකයාට ස්වකීය ප්‍රඥා බලයෙන් දෙවියන් වහන්සේ දැනගැනීමට නොහැකි විය. ඒ වෙනුවට ප්‍රලාපයකැ යි කියන සුබ අස්න දේශනා කිරීමෙන් අදහන්නන් ගළවාලීමට උන් වහන්සේ සතුටු වූ සේක.</verse>
				<verse number="22">ජුදෙව්වරු හාස්කම් ඉල්ලති. ග්‍රීක්වරු ප්‍රඥාව සොයති.</verse>
				<verse number="23">එහෙත් අපි, කුරුසියේ ඇණ ගසනු ලැබූ ක්‍රිස්තුන් වහන්සේ දේශනා කරමු. මෙය ජුදෙව්වරුන්ට පැකිළීමකි. විජාතීන්ට ප්‍රලාපයකි.</verse>
				<verse number="24">එහෙත් කැඳවීම ලත් ජුදෙව්වරුන්ටත්, ග්‍රීක්වරුන්ටත්, ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ බලය හා ප්‍රඥාව වේ.</verse>
				<verse number="25">ප්‍රලාපයකැ යි කියන දෙවියන් වහන්සේගේ ප්‍රලාපය, මිනිස් ප්‍රඥාව ඉක්ම වූ ප්‍රඥාවකි. දුබලකමකැ යි කියන දෙවියන් වහන්සේගේ දුබලකම මිනිස් ශක්තිය ඉක්ම වූ ශක්තියකි.</verse>
				<verse number="26">සහෝදරයෙනි, ඔබගේ කැඳවීම ගැන සිතා බලන්න. ලෝක මිම්ම අනුව ප්‍රඥාවන්ත යැයි කිව හැකි බොහෝ දෙනෙක් ඔබ අතර නො වූ හ. එලෙස ම, බලවත් අයත්, කුලවත් අයත් වැඩි දෙනෙක් නො වූ හ.</verse>
				<verse number="27">එහෙත් ප්‍රඥාවන්තයන් ලජ්ජාවට පමුණුවන පිණිස, ලෝක මිම්ම අනුව මෝඩ යයි සම්මත දේ, දෙවියන් වහන්සේ තෝරාගත් සේක. එමෙන් ම බලවතුන් ලජ්ජාවට පමුණුවන පිණිස ලෝක මිම්ම අනුව දුබල යයි සම්මත දේ දෙවියන් වහන්සේ තෝරාගත් සේක.</verse>
				<verse number="28">ලෝකයා අගය කොට සලකන දේ නැති කරනු පිණිස, දෙවියන් වහන්සේ ලෝකයා පහත් කොට සලකන, හෙළා දකින, එමෙන් ම වැදගැම්මක් නැතැ යි සලකන දේ, තෝරාගත් සේක.</verse>
				<verse number="29">එසේ කෙළේ කිසිවෙකු දෙවියන් වහන්සේ ඉදිරියෙහි පාරට්ටු කර නොගන්නා පිණිස ය.</verse>
				<verse number="30">ඔබ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ හා ඒකාබද්ධ ව සිටින්නේ දෙවියන් වහන්සේගේ ක්‍රියාවෙනි. ක්‍රිස්තුන් වහන්සේ අපගේ ප්‍රඥාව වන්නේත් දේව ක්‍රියාවෙන් ය. ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන අපි දමිටු කරනු ලැබ, උන් වහන්සේගේ සෙනඟ වී, නිදහස ලබා සිටිමු.</verse>
				<verse number="31">එබැවින්, ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇති පරිදි, පාරට්ටු කරගන්න කැමැති තැනැත්තා සමිඳාණන් වහන්සේ ගැන පාරට්ටු කරගනී වා.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">සහෝදරයෙනි, මා ඔබ වෙත පැමිණ දෙවියන් වහන්සේ පිළිබඳ සාක්ෂිය ප්‍රකාශ කළේ, චතුර කථිකත්වයක් හෝ ප්‍රඥාවක් හෝ පෙන්වමින් නොවේ.</verse>
				<verse number="2">මා ඔබ අතර සිටිය දී, මාගේ එක ම අධිෂ්ඨානය වූයේ අන් හැම දෙයක් ම අමතක කර, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ හා උන් වහන්සේගේ කුරුසිගතවීම ගැන පමණක් සිතීම ය.</verse>
				<verse number="3">මම දුර්වලකමින් ද බියෙන් ද අධික තැතිගැනීමෙන් ද ඔබ සමඟ සිටියෙමි.</verse>
				<verse number="4">මාගේ කතාව හා දෙසුම මා ප්‍රකාශ කෙළේ සිත් පොළඹවන සුලු, ප්‍රඥාවන්ත වචනවලින් නොව, ආත්මයාණන් වහන්සේගේ බලයෙනි,</verse>
				<verse number="5">එසේ වූයේ ඔබගේ ඇදහිල්ල මිනිස් ප්‍රඥාව මත නොව දෙවියන් වහන්සේගේ බලය මත පිහිටන පිණිස ය.</verse>
				<verse number="6">ඒ කෙසේ වෙතත් මුහුකුරා ගිය අය අතර අපි ප්‍රඥා සහගත ව කතා කරමු. එහෙත් ඒ ප්‍රඥාව මේ ලෝකයට අයිති ප්‍රඥාවක් වත් මේ යුගයේ විනාශ වී යන අධිපතීන්ට අයිති ප්‍රඥාවක් වත් නොවේ.</verse>
				<verse number="7">අප ප්‍රකාශ කරන්නේ අනාදියේ පටන් දෙවියන් වහන්සේ අපේ ගෞරවය සඳහා කලින් නියම කළ, උන් වහන්සේගේ අබිරහස් ප්‍රඥාව ය.</verse>
				<verse number="8">ඒ ප්‍රඥාව මෙලොව අධිපතීන්ගෙන් කිසිවෙක් නොදත්හ. එය ඔවුන් දැන සිටියා නම්, මහිමාන්විත සමිඳාණන් වහන්සේ කුරුසියේ ඇණ ගසන්නේ නැත.</verse>
				<verse number="9">ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇති ලෙස: “දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන් හට උන් වහන්සේ සූදානම් කර ඇත්තේ කිසිවෙකු කවදාවත් ඇසින් නුදුටු, කණින් නොඇසූ, සිතින් නොසිතූ දෙයකි.”</verse>
				<verse number="10">මේ දේ දෙවියන් වහන්සේ ස්වකීය ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන අපට එළිදරව් කළ සේක. මන්ද, ආත්මයාණන් වහන්සේ දෙවියන් වහන්සේ පිළිබඳ ගාම්භීර දේ ඇතුළු සියල්ල විමසන සේක.</verse>
				<verse number="11">මිනිසාගේ ස්වභාවය දන්නේ මිනිසා ම තුළ වන ඔහුගේ ආධ්‍යාත්මය යි. අන් කිසිවෙක් එය නොදනිති. එමෙන් ම දෙවියන් වහන්සේගේ ස්වභාවය දන්නේ උන් වහන්සේගේ ආත්මයාණෝ ය. අන් කිසිවෙක් එය නොදනිති.</verse>
				<verse number="12">එහෙත් දෙවියන් වහන්සේ නොමසුරු ව අපට දුන් සියල්ල තේරුම් ගන්නා පිණිස, අප ලබා ඇත්තේ මෙලොවේ ප්‍රඥාවක් නොව, දෙවියන් වහන්සේගෙන් නික්ම එන ශුද්ධාත්මයාණෝ ය.</verse>
				<verse number="13">අප මේ සියල්ල පවසන්නේ මිනිස් ප්‍රඥාවෙන් උපදින වචනවලින් නොව, ආධ්‍යාත්මික දේ, ආධ්‍යාත්මික සත්‍යයන් හා සසඳමින් ශුද්ධාත්මයාණන් අපට උගන්වන වචනවලින් ය.</verse>
				<verse number="14">එහෙත් ශුද්ධාත්මයාණන් ලබා නැති තැනැත්තාට දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයාණන්ගෙන් එන සත්‍යයන් පිළිගත නොහැකි ය. ඒවා ඔහුට ප්‍රලාපයකි. ඒවා ආධ්‍යාත්මික ලෙස විමසා දැනගත යුතු නිසා ඒවා ඔහුට නොතේරේ.</verse>
				<verse number="15">ශුද්ධාත්මයාණන් ලබා ඇති තැනැත්තා සියල්ල විමසයි. එහෙත් කිසිවෙකුට ඔහු විමසිය නොහැකි ය.</verse>
				<verse number="16">ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ ලියා ඇත: “සමිඳාණන් වහන්සේගේ සිත කවුරු දනිත් ද? උන් වහන්සේට උපදෙස් දිය හැක්කේ කවුරුන් විසින් ද?” එහෙත් ක්‍රිස්තුන් වහන්සේගේ සිත අපට තිබේ.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">සහෝදරයෙනි, ශුද්ධාත්ම වරම ලත් අයට මෙන් ඔබට කතාකිරීමට මට නොහැකි බැවින්, පෘථග්ජනයන්ට, ළා බාල කිතුනුවන්ට මෙන් මම ඔබට කතා කෙළෙමි.</verse>
				<verse number="2">මම ඔබ දැඩි ආහාරයෙන් නොව කිරෙන් පෝෂණය කෙළෙමි. එසේ කෙළේ ඔබට ඒවා දැරීමට නොහැකි වූ බැවිනි. ඒවා දැරීම තවමත් ඔබට බැරි ය.</verse>
				<verse number="3">තවමත් ඔබ පෘථග්ජන තත්ත්වයේ ය. ඔබ අතර ඊර්ෂ්‍යාව හා විවාදය හා පවතින විට, ඔබ පෘථග්ජන අය මෙන් ලෞකික තත්ත්වයේ හැසිරෙනවා නොවේ ද?</verse>
				<verse number="4">කෙනෙක් මම පාවුලුගේ පැත්තට යයි ද තව කෙනෙක්, මම අපොල්ලොස්ගේ පැත්තට යයි ද කියන විට ඔබ සාමාන්‍ය මිනිස්සු නොවෙත් ද?</verse>
				<verse number="5">අපොල්ලොස් කවරෙක් ද? පාවුලු කවරෙක් ද? ඔව්හු සමිඳාණන් වහන්සේ ඒ අයට දුන් ප්‍රකාර ඔබ ඇදහිල්ලට පැමිණවූ සේවකයෝ ය.</verse>
				<verse number="6">මම පැළ කෙළෙමි, අපොල්ලොස් වතුර දැම්මේ ය. එහෙත් එහි වැඩීම සැලසූයේ දෙවියන් වහන්සේ ය.</verse>
				<verse number="7">වැදගත් වන්නේ පැළ කළ තැනැත්තා වත්, වතුර දැමූ තැනැත්තා වත් නොව, වැඩීම සැලැසූ දෙවියන් වහන්සේ ය.</verse>
				<verse number="8">පැළ කළ තැනැත්තා හා වතුර දැමූ තැනැත්තා අතර වෙනසක් නැත. එකිනෙකා තම තමාගේ වැඩය අනුව නිසි විපාකය ලබන්නේ ය.</verse>
				<verse number="9">මන්ද, අපි දෙවියන් වහන්සේ සමඟ සහකාර සේවකයෝ වෙමු. ඔබ දෙවියන් වහන්සේගේ කෙත ය, දෙවියන් වහන්සේගේ ගොඩනැඟිල්ල ය.</verse>
				<verse number="10">මට දෙන ලද දේව වරප්‍රසාදය පරිදි මම දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙකු මෙන් අත්තිවාරමක් දැමීමි. වෙන කෙනෙක් ඒ මත ගොඩනඟයි. එහෙත් එකිනෙකා එය මත ගොඩනඟන ආකාරය ගැන විමසිලිමත් විය යුතු ය.</verse>
				<verse number="11">මන්ද, දැනට ම දමා ඇති අත්තිවාරම හැර වෙන අත්තිවාරමක් දැමීමට කිසිවෙකුට නුපුළුවන. ඒ අත්තිවාරම නම් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ය.</verse>
				<verse number="12">මේ අත්තිවාරම මත ගොඩනැඟීමට යම් යම් අය යොදන්නේ රන්, රිදී, අගනා මැණික්, දැව, තෘණ හෝ පිදුරු නම්,</verse>
				<verse number="13">ඔවුන්ගේ කර්මාන්තයේ තත්ත්වය, හෙළිදරව් වන්නේ ය. ඒ දවස ගින්න සහිත ව උදා වේ. ඒ ගින්නෙන් ඒ ඒ කර්මාන්ත පරීක්ෂා කරනු ලැබීමෙන් ඒවායේ නියම ස්වාභාවය හෙළි වේ.</verse>
				<verse number="14">ඒ අත්තිවාරම මත ගොඩනඟන ලද යමෙකුගේ කර්මාන්තය නොදැවී පවතී නම්, ඔහු විපාකයක් ලබයි.</verse>
				<verse number="15">යමෙකුගේ කර්මාන්තය දැවී යන්නේ නම් ඔහුට අලාභයක් සිදු වේ. එහෙත් ඔහු ගිනි මැදින් මිදී ආ කෙනෙකු මෙන් ගැළවෙනු ඇත.</verse>
				<verse number="16">ඔබ දෙවියන් වහන්සේගේ මන්දිරය බවත්, ඔබ තුළ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වැඩ වසන බවත් නොදන්නහු ද?</verse>
				<verse number="17">කිසිවෙකු දේව මන්දිරය වැනසුවොත් දෙවියන් වහන්සේ ඒ තැනැත්තා වනසන සේක. දෙවියන් වහන්සේගේ මන්දිරය විශුද්ධ ය. ඒ මන්දිරය නම් ඔබ ය.</verse>
				<verse number="18">කිසිවෙක් තමා ම රවටා නොගනිත් වා. ඔබ අතර යමෙක් තමා ප්‍රඥාවන්තයෙක් යයි සිතන්නේ නම්, ඔහු නියම ප්‍රඥාවන්තයෙකු වන පිණිස, ලෝක මිම්ම අනුව ඔහු මෝඩයෙක් වේ වා.</verse>
				<verse number="19">මන්ද, මේ ලෝකයේ ප්‍රඥාව දෙවියන් වහන්සේ ඉදිරියෙහි මෝඩකමකි. උන් වහන්සේ: “ප්‍රඥාවන්තයන් ඔවුන්ගේ ම උපායවලින් අසු කරගන්නා සේකැ”යි ලියා ඇත.</verse>
				<verse number="20">තවද, “සමිඳාණන් වහන්සේ ප්‍රඥාවන්තයන්ගේ කල්පනා නිස්සාර බව දන්නා සේකැ”යි කියා ද ලියා ඇත.</verse>
				<verse number="21">එහෙයින් කිසිවෙක් යම් යම් පුද්ගලයන් ගැන පාරට්ටු කර නොගනිත් වා. මන්ද, සියල්ලෝ ම ඔබගේ ය.</verse>
				<verse number="22">පාවුලු, අපොල්ලොස්, කේපස් යන සියල්ලන් ද, ලෝකය, ජීවනය, මරණය, වර්තමානය, අනාගතය යන සියල්ල ද ඔබගේ ය.</verse>
				<verse number="23">ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ ය. ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ ය.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">ඔබ අප ගැන සිතිය යුත්තේ, ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයන් ද දෙවියන් වහන්සේගේ අබිරහස් පිළිබඳ භාරකාරයන් ද හැටියට ය.</verse>
				<verse number="2">භාරකාරයන්ගෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන් විශ්වාසවන්ත ව සිටී ම ය.</verse>
				<verse number="3">එහෙත් ඔබ විසින් හෝ මනුෂ්‍ය අධිකරණයකින් හෝ මා විනිශ්චය කරනු ලැබීම, මා සලකන්නේ ඉතා සුළු දෙයක් ලෙස ය. තවද, මම මා ම විනිශ්චය කර නොගනිමි.</verse>
				<verse number="4">මන්ද, මට විරුද්ධ ව කිසිවක් ඇති බව මම නොදනිමි. ඒ නිසා ම මම නිදොස් නොවෙමි. මා විනිශ්චය කරන්නේ සමිඳාණන් වහන්සේ ය.</verse>
				<verse number="5">එබැවින් සමිඳාණන් වහන්සේ එන තුරු නියම කාලයට පෙර කිසි විනිශ්චයක් නොකරන්න. උන් වහන්සේ අඳුරෙහි සැඟවුණු දේ ආලෝකයට පමුණුවා, සිත් සතන්හි අදහස් හෙළි කරන සේක. එවිට හැම දෙනෙක් ම තම තමන්ට හිමි ප්‍රශංසාව දෙවියන් වහන්සේගෙන් ලබති.</verse>
				<verse number="6">සහෝදරයෙනි, මම ඔබ උදෙසා මේ දේ උපමානුසාරයෙන්, අපොල්ලොස්ටත් මටත් අදාළ කොට කීමි. එසේ කීවේ නීතිරීති කඩ නොකිරීමට ඔබ අපෙන් ඉගෙනගන්නා පිණිසත්, ඔබෙන් කවරෙකු වත් එක් කෙනෙකු ගැන ආඩම්බර වී අන් කෙනෙකු හෙළා නොදකින පිණිසත් ය.</verse>
				<verse number="7">ඔබට එතරම් ප්‍රමුඛත්වයක් දුන්නේ කවරෙක් ද? දෙවියන් වහන්සේ දුන් දේ හැර අන් කිසිවක් ඇද් ද? ඉතින්, එය දෙන ලද දෙයක් නම් ඔබ සතු දෙයක් සේ ම සලකා පාරට්ටු කරගන්නේ මන් ද?</verse>
				<verse number="8">අවශ්‍ය හැම දේ ම දැනට ම ඔබට ඇත; දැනට ම ඔබ ධනවත් ය. දැනට ම අප නැතුව ඔබ රජවරු ය. ඔබ සැබෑවට ම රජවරු නම් මම කෙතරම් කැමැති වෙම් ද? එවිට අපටත් ඔබ සමඟ රජවරුන් වෙන්න ඉඩ තිබිණි.</verse>
				<verse number="9">මට පෙනෙන්නේ, දෙවියන් වහන්සේ ප්‍රේරිතවරයන් වන අප මරණයට නියම කළ අය මෙන්, අන්තිම තැන අපට දී තිබෙන බව යි. මෙලෙස අපි දේව දූතයන් හා මනුෂ්‍යයන් හා ඇතුළු මුළු ලොවට ම ප්‍රසිද්ධ ප්‍රදර්ශනයක් වී සිටිමු.</verse>
				<verse number="10">ක්‍රිස්තුන් වහන්සේ උදෙසා අපි මෝඩයෝ ය, එහෙත් ඔබ උගත් කිතුනුවෝ ය. අපි දුබල ය; ඔබ බලවත් ය, ඔබට ගෞරවය ඇත, අපට අගෞරවය ඇත.</verse>
				<verse number="11">මේ මොහොත දක්වා ම අපි කුසගින්නෙන් හා පිපාසයෙන් පෙළෙමු. වැරහැලි අඳිමු; පහර ලබමු; ගෙයක්දොරක් අපට නැත.</verse>
				<verse number="12">දෑතින් වැඩ කර වෙහෙස මහන්සි වෙමු. නින්දා ලබන කල, අපි ආශීර්වාද කරමු; පීඩා ලබන කල, අපි ඉවසමු;</verse>
				<verse number="13">අපකීර්තිය ලබන කල අපි මෙත් සිත් වඩමු. මේ දක්වා ම අපි කුණුකසළ මෙන් වී සිටිමු.</verse>
				<verse number="14">මා මෙලෙස ලියන්නේ ඔබ ලජ්ජා කරන අදහසින් නොව, මාගේ ප්‍රියාදර දරුවන්ට මෙන් ඔබට අවවාද කරන පිණිස ය.</verse>
				<verse number="15">කිතුනු ජීවිතයේ ඔබට දස දහසක් ගුරුවරුන් සිටියත්, පියවරු වැඩි දෙනෙක් නැත. මන්ද, සුබ අස්න දේශනා කිරීමෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඔබගේ පියා වූයේ මම ය.</verse>
				<verse number="16">එහෙයින් මාගේ ආදර්ශය අනුගමනය කරන මෙන් උදක් ම ඉල්ලමි.</verse>
				<verse number="17">එබැවින් මේ සඳහා සමිඳාණන් වහන්සේ තුළ මට ප්‍රියාදර, විශ්වාසවන්ත පුත්‍රයෙකු වන තිමෝතියස් ඔබ වෙත එවමි. ඔහු හැමතැන, හැම සභාවල මා උගන්වන ක්‍රිස්තුන් වහන්සේ තුළ වූ මාගේ සදාචාර පිළිවෙත් ඔබට සිහිගන්වනු ඇත.</verse>
				<verse number="18">මා ඔබ වෙත නොඑති යි කියමින් සමහරුන් අහංකාර වී ඇත.</verse>
				<verse number="19">එහෙත් සමිඳාණන් වහන්සේ කැමැති වන සේක් නම්, මම නොපමා ව ඔබ වෙත අවුත්, අහංකාර අයගේ කථිකත්වය නොව ඔවුන්ගේ බලයේ තරම දැනගන්නෙමි.</verse>
				<verse number="20">මන්ද, දෙවියන් වහන්සේගේ රාජ්‍යය වනාහි කතා ශක්තියෙන් නොව දේව බලයෙන් ක්‍රියා කරන්නකි.</verse>
				<verse number="21">ඔබ කැමැති කුමකට ද? කෝටුවක් රැගෙන මා ඔබ වෙත එනවාට ද? නැත්නම් මෛත්‍රී කරුණා සහගත ව ඔබ වෙත එනවාට ද?</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">මිසදිටුවන් වුව ද නුරුස්සන තරමේ අනාචාර ක්‍රියාවක් ඔබ අතර ඇති බව මට ඇත්තට ම ආරංචි වී ඇත. එනම්, ඔබගෙන් කෙනෙකු සිය පියාගේ බිරිඳ තබාගෙන ඉන්න බව ය.</verse>
				<verse number="2">එවැනි ක්‍රියාවක් ගැන ඔබට ආඩම්බර විය හැකි ද? නැත, ඒ ගැන ඔබ දුක් විය යුතු ය. ඔහු ඔබ වෙතින් නෙරපා දැමිය යුතු ය.</verse>
				<verse number="3">සැබැවින් ම මම ගතින් ඔබගෙන් ඈත් ව සිටියත්, සිතින් ඔබ සමඟ සිටිමි. එලෙස ඔබ සමඟ සිටින්නාක් මෙන් ම මා දැනටමත් මේ දේ කරන පුද්ගලයා විනිශ්චය කර ඇත.</verse>
				<verse number="4">එබැවින් සිතින් ඔබ අතර සිටින මා සමඟ, අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ එක්රැස් වූ විට,</verse>
				<verse number="5">අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ බලයෙන් ඒ පුද්ගලයාගේ ආත්මය සමිඳාණන් වහන්සේගේ දවසේ දී ගැළවෙන පිණිස, ඔහුගේ ශරීරය නාස්ති වන පිණිස ඔහු සාතන්ට භාර කළ යුතු ය.</verse>
				<verse number="6">ඔබගේ පාරට්ටුව නොහොබී. මුහුන් බිඳකින් මුළු පිටි පිඬක් පිපෙන බව ඔබ නොදන්නහු ද?</verse>
				<verse number="7">ඔබ හැම අතින් ම පිරිසිදු වන පිණිස පාපය නමැති මුහුන් ඉවත් කරන්න. එවිට ඔබ අලුත් නුමුහුන් පිටි පිඬක් මෙන් වන්නහු ය. ඔබ දැනට ම එසේ බව මම දනිමි, එසේ වන්නේ අපගේ පාස්කු බැටළුවා වන ක්‍රිස්තුන් වහන්සේ පූජා කර ඇති බැවිනි.</verse>
				<verse number="8">එබැවින් පරණ මුහුන්වලින් වත්, ඊර්ෂ්‍යාව සහ දුෂ්ටකම නමැති මුහුන්වලින් වත් නොව, අවංකකම ද සත්‍යය ද නමැති නුමුහුන් රොටියෙන් පාස්කු මංගල්‍යය පවත්වමු.</verse>
				<verse number="9">මා ඔබ වෙත එවූ ලිපියේ අනාචාරයේ හැසිරෙන මිනිසුන් ඇසුරු නොකරන ලෙස, ලීවෙමි.</verse>
				<verse number="10">එයින් මා අදහස් කෙළේ මේ ලෝකයේ මිසදිටුවන් අතර සිටින, අනාචාරයේ හැසිරෙන අයගෙන් ද වස්තු තෘෂ්ණාව ඇති අයගෙන් ද කොල්ලකන අයගෙන් ද රූප වඳින අයගෙන් ද සම්පූර්ණයෙන් ම වෙන් වීම නොවේ. එසේ කිරීමට නම් ඔබ ලෝකයෙන් වෙන් විය යුතු ය.</verse>
				<verse number="11">එයින් මා ඇත්තට ම අදහස් කෙළේ කිතුනුවෙකැ යි කියා ගනිමින් අනාචාරයේ හැසිරෙන්නෙකු හෝ වස්තු තෘෂ්ණාව ඇති කෙනෙකු හෝ රූප වඳින්නෙකු හෝ නින්දා කරන්නෙකු හෝ බේබද්දෙකු හෝ කොල්ලකන්නෙකු හෝ ඇසුරු නොකිරීම පමණක් නොව, එවැන්නෙකු සමඟ ආහාර වත් නොවැළඳීමයි.</verse>
				<verse number="12">සභාවෙන් පිටත වූවන් විනිශ්චය කිරීම මාගේ වැඩක් ද? දෙවියන් වහන්සේ ඔවුන් විනිශ්චය කරන සේක.</verse>
				<verse number="13">සභාව තුළ සිටින්නවුන් විනිශ්චය කිරීම ඔබේ යුතුකම නොවේ ද? එසේ නම් ඔබ අතරින් ඒ දුෂ්ටයා පහ කරන්න.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">ඔබගේ සහෝදරයා සමඟ ආරාවුලක් හටගත් විට එය විනිශ්චය කිරීමට කිතුනු සෙනඟ ඉදිරියට නොගොස්, කිතුනු නොවන උසාවියක් ඉදිරියට යන්නට භය නැද් ද?</verse>
				<verse number="2">කිතුනු සෙනඟ ලෝකයා විනිශ්චය කරන බව ඔබ නොදන්නහු ද? ලෝකයා විනිශ්චය කරන්නේ ඔබ නම්, සුළු ආරාවුලක් විසඳීමට ඔබ අපොහොසත් ද?</verse>
				<verse number="3">අප, දේව දූතයන් පවා විනිශ්චය කරන්නට යන බව ඔබ නොදන්නහු ද? එසේ නම් එදිනෙදා ජීවිතයට අයත් දේ විනිශ්චය කිරීම අපට කළ නොහැකි ද?</verse>
				<verse number="4">එබඳු කාරණා මතු වූ විට, ඒවා විසඳීම සඳහා, සභාව කිසි සේත් ගණන් නොගන්නා අය වෙත ඔබ යන්නහු ද?</verse>
				<verse number="5">මෙය මොන නින්දාවක් ද? ඇත්තට ම සහෝදරයන් අතර ආරාවුලක් විසඳීමට සමත් එක නැණවතෙක් වත් ඔබ අතර නැද් ද?</verse>
				<verse number="6">සහෝදරයෙකු තවත් සහෝදරයෙකුට විරුද්ධ ව, නඩු කියාගැනීමට විශේෂයෙන් මිසදිටුවන් ඉදිරියට නඩු කියාගැනීමට යෑම සුදුසු ද?</verse>
				<verse number="7">මෙසේ ඔබ එකිනෙකා සමඟ නඩු කියාගැනීම, දැනට ම ඔබට පරාජයකි. අයුක්තිය ඉවසීම, ඊට වඩා හොඳ නැද් ද? අලාභයක් ඉවසීම, ඊට වඩා හොඳ නැද් ද?</verse>
				<verse number="8">ඒ වෙනුවට ඔබ කරන්නේ අයුක්තියත් අලාභයත් ය. ඒකත් කරන්නේ සහෝදරයන්ට ම ය.</verse>
				<verse number="9">අධර්මිෂ්ඨයන් දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කරගන්නේ නැති බව ඔබ දන්නේ නැද් ද? නොරැවටෙන්න. අනාචාරකම් කරන්නෝ වත්, රූප වඳින්නෝ වත්, කාමමිථ්‍යාචාරිකයෝ වත්, සම ලිංගික සේවනයේ යෙදෙන්නෝ වත්,</verse>
				<verse number="10">සොරුවත්, කොල්ලකන්නෝ වත්, ලෝබියෝ වත්, බේබද්දෝ වත්, නින්දා කරන්නෝ වත්, ගසා කන්නෝ වත්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කර නොගන්නෝ ය.</verse>
				<verse number="11">තවද ඔබ අතරෙන් සමහරෙක් එවැන්නෝ වූ හ. එහෙත් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ද අපගේ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මඟින් ද ඔබ සෝදනු ලැබුවහු ය; ශුද්ධ කරනු ලැබුවහු ය; දමිටු කරනු ලැබුවහු ය.</verse>
				<verse number="12">“මා කැමැති දෙයක් කිරීමට මට නිදහස ඇතැ”යි කීවත් හැම දේ ම මගේ යහපත පිණිස නොවේ. එසේ ම “කැමැති දෙයක් කිරීමට මට නිදහස ඇතැ”යි කීවත් මම කිසිවකට වසඟ නොවෙමි.</verse>
				<verse number="13">“ආහාර උදරය සඳහා ය, උදරය ආහාර සඳහා ය”යි කීවත් දෙවියන් වහන්සේ ඒ දෙක ම නැති කරන සේක. තවද ශරීරය අනාචාරය පිණිස නොවේ. එය සමිඳාණන් වහන්සේ උදෙසා ය.</verse>
				<verse number="14">දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ මරණයෙන් උත්ථාන කළ සේක. ස්වකීය බලයෙන් අපත් උන් වහන්සේ එසේ උත්ථාන කරන සේක.</verse>
				<verse number="15">ඔබගේ ශරීර ක්‍රිස්තුන් වහන්සේගේ අවයවයන් බව නොදන්නහු ද? එසේ නම් මම ක්‍රිස්තුන් වහන්සේගේ අවයවයන් පැහැර ගෙන ඒවා ගණිකාවකගේ අවයවයන් කරම් ද?</verse>
				<verse number="16">එසේ නොවේ වා. ගණිකාවකට සම්බන්ධ වන තැනැත්තේ කායික ලෙස ඈ හා එක් වන බව ඔබ නොදන්නහු ද? ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇති පරිදි ‘දෙදෙනා ම එක් කෙනෙක් වන්නෝ ය.’</verse>
				<verse number="17">එහෙත් ස්වාමීන් වහන්සේට සම්බන්ධ වන තැනැත්තේ උන් වහන්සේ සමඟ ඒකාත්මයක් වන්නේ ය.</verse>
				<verse number="18">අනාචාරයෙන් පලා යන්න. අන් හැම පාපයක් ම මිනිසා කරන්නේ ශරීරයෙන් බැහැර ය. එහෙත් අනාචාරය කරන්නා තමාගේ ම ශරීරයට විරුද්ධ ව පව් කරයි.</verse>
				<verse number="19">ඔබගේ ශරීරය, ඔබට දෙවියන් වහන්සේ දෙවා වදාළ, ඔබ තුළ වැඩ වසන ශුද්ධාත්මයාණන්ගේ මන්දිරය වන බව ඔබ නොදන්නහු ද? ඔබ ඔබට ම අයිති නැත.</verse>
				<verse number="20">ඔබ මිලයකට ගත් අය වන්නහු ය. එබැවින් ඔබගේ ශරීර දේව මහිමය සඳහා යොදවන්න.</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">ඔබ ලියූ කරුණු ගැන දැන් සිතා බලමු. ස්ත්‍රී සේවනයෙන් වැළකී සිටීම මිනිසාට යහපති.</verse>
				<verse number="2">එහෙත්, අනාචාරය බහුල ව පවතින නිසා හැම මිනිසෙකුට ම භාර්යාවක් ද හැම ස්ත්‍රියකට ම ස්වාමි පුරුෂයෙකු ද සිටිය යුතු ය.</verse>
				<verse number="3">පුරුෂයා සිය භාර්යාවට විවාහ ජීවිතයේ යුතුකම් ඉටු කළ යුතු යි. භාර්යාව ද සිය පුරුෂයාට විවාහ ජීවිතයේ යුතුකම් ඉටු කළ යුතු යි.</verse>
				<verse number="4">භාර්යාවගේ ශරීරයට අයිතිය ඇත්තේ, ඇයට නොව පුරුෂයාට ය. එලෙස ම පුරුෂයාගේ ශරීරයට අයිතිය ඇත්තේ, ඔහුට නොව භාර්යාවට ය.</verse>
				<verse number="5">යාච්ඤාවේ යෙදෙන පිණිස ස්ත්‍රී-පුරුෂ දෙදෙනාගේ ම කැමැත්තෙන් කලකට වෙන් වී සිටිනවා මිස, නැත්නම් වෙන් වී නොසිටිය යුතු ය. එසේ වුව ද ඔබගේ ආත්ම දමනය හීන වීමෙන්, සාතන්ගේ පෙළඹීම්වලට අසු නොවන පිණිස නැවත එක් වෙත් වා.</verse>
				<verse number="6">මා මෙසේ කියන්නේ ආඥාවක් වශයෙන් නොව අවවාදයක් වශයෙනි.</verse>
				<verse number="7">ඔබ හැමට මා මෙන් සිටිය හැකි නම් මම කැමැත්තෙමි. එක් කෙනෙකුට එක විධියකට ද තව කෙනෙකුට තවත් විධියකට ද තම තමන්ට ම විශේෂ වූ දීමනාවක් එකිනෙකා දෙවියන් වහන්සේගෙන් ලබා ඇත.</verse>
				<verse number="8">අවිවාහකයන්ට ද වැන්දඹුවන්ට ද මා කියන්නේ මා මෙන් ඔවුන් ද, දැන් ඔවුන් සිටින්නාක් මෙන් සිටීම හොඳ බව ය.</verse>
				<verse number="9">එහෙත් ඔවුන්ට ආත්ම දමනය නොහැකි දෙයක් නම් ඔව්හු විවාහ වෙත් වා. කාමරාගයෙන් දැවෙනවාට වඩා විවාහ වීම යහපති.</verse>
				<verse number="10">විවාහකයන්ට මම මෙසේ අණකරමි. එහෙත් අණ කරන්නේ මා නොව සමිඳාණන් වහන්සේ ය. එනම් භාර්යාව ස්වාමි පුරුෂයාගෙන් වෙන් ව නොයේ වා.</verse>
				<verse number="11">වෙන් ව ගියොත් ඈ තනි ව සිටී වා. නැතහොත් ස්වාමි පුරුෂයා හා සමඟි වේ වා. ස්වාමි පුරුෂයා ද සිය භාර්යාව දික්කසාද නොකළ යුතු ය.</verse>
				<verse number="12">සෙසු අයට සමිඳාණන් වහන්සේ නොව මම මෙසේ කියමි. යම් සහෝදරයෙකුට කිතුනු නොවන භාර්යාවක් සිටී නම්, ඈ ඔහු සමඟ වාසය කිරීමට කැමැති නම්, ඔහු ඇය දික්කසාද නොකෙරේ වා.</verse>
				<verse number="13">එසේ ම යම් ස්ත්‍රියකට කිතුනු නොවන ස්වාමි පුරුෂයෙක් සිටී නම්, ඔහු ඈ සමඟ වාසය කිරීමට කැමැති නම් ඈ ඔහු දික්කසාද නොකෙරේ වා.</verse>
				<verse number="14">මන්ද, කිතුනු නොවන ස්වාමි පුරුෂයා භාර්යාව නිසා දෙවියන් වහන්සේට කැප වී සිටී. කිතුනු නොවන භාර්යාව ද, ස්වාමි පුරුෂයා නිසා දෙවියන් වහන්සේට කැප වී සිටී. එසේ නොවී නම් ඔවුන්ගේ දරුවෝ දෙවියන් වහන්සේට අයිති නොවෙති. එහෙත් දැන් ඔව්හු දෙවියන් වහන්සේට අයිති ය.</verse>
				<verse number="15">එහෙත් කිතුනු නොවන විවාහකයා වෙන් වන්නට කැමැති නම්, වෙන් වේ වා. මෙවැනි අවස්ථාවලින් කිතුනු සහෝදරයා හෝ සහෝදරිය හෝ විවාහ බැඳුමෙන් බැඳී නැත. දෙවියන් වහන්සේ ඔබ කැඳවා ඇත්තේ සාමදානයෙන් ජීවත් වීමට ය.</verse>
				<verse number="16">ඔබ කිතුනු භාර්යාවක් නම් ඔබ තම ස්වාමි පුරුෂයාගේ ගැළවීම සලසනු විය හැකි ය. ඔබ කිතුනු ස්වාමි පුරුෂයෙක් නම් ඔබ තම භාර්යාවගේ ගැළවීම සලසනු විය හැකි ය.</verse>
				<verse number="17">එසේ වුව ද සමිඳාණන් වහන්සේ එකිනෙකාට නියම කොට ඇති ප්‍රකාරයට හා දෙවියන් වහන්සේ එකිනෙකා කැඳවා ඇති ප්‍රකාරයට ජීවත් වන්න. සැම සභාවකට ම මා දෙන නියෝගය මේ ය.</verse>
				<verse number="18">යමෙකු චර්මඡේදනය ලබා සිටිය දී කැඳවීම ලැබූයේ නම්, ඔහු චර්මඡේදනයේ ලකුණු පහ නොකෙරේවා. යමෙකු චර්මඡේදනය නොලබා සිටිය දී කැඳවීම ලැබූයේ නම්, ඔහු චර්මඡේදනය නොලබාවා.</verse>
				<verse number="19">චර්මඡේදනය වත්, අචර්මඡේදනය වත්, වැදගත් වන්නේ නැත. වැදගත් වන්නේ දෙවියන් වහන්සේගේ ආඥා පිළිපැදීම ය.</verse>
				<verse number="20">සෑම කෙනෙක් ම සිය කැඳවීම ලැබූ තත්ත්වයෙහි ම පවතිත් වා.</verse>
				<verse number="21">ඔබ කැඳවීම ලැබූයේ වහලෙකු ව සිටිය දී නම්, ඒ ගැන කරදර නොවන්න. එහෙත් නිදහස ලබාගැනීමට ඉඩක් ඇත්නම් එයින් ප්‍රයෝජන ගන්න.</verse>
				<verse number="22">වහලෙකු ව සිටිය දී සමිඳාණන් වහන්සේගෙන් කැඳවීම ලැබූ තැනැත්තා සමිඳාණන් වහන්සේගේ නිවහලෙකි. එසේ ම නිවහල් ව සිටිය දී කැඳවීම ලැබූ තැනැත්තා ක්‍රිස්තුන් වහන්සේගේ වහලෙකි.</verse>
				<verse number="23">ඔබ මිලයකට ගනු ලැබූ අය වෙති. එබැවින් මිනිසුන්ගේ වහලුන් නොවන්න.</verse>
				<verse number="24">සහෝදරයෙනි, සෑම කෙනෙක් ම තමා කැඳවීම ලැබූ තත්ත්වයෙහි දෙවියන් වහන්සේ සමඟ පවතිත් වා.</verse>
				<verse number="25">අවිවාහකයන් ගැන මට සමිඳාණන් වහන්සේගෙන් ආඥාවක් ලැබී නැත. එහෙත්, සමිඳාණන් වහන්සේගේ කරුණාවෙන් විශ්වාස කටයුතු තැනැත්තෙකු වන මම, මගේ අදහස කියනු කැමැත්තෙමි.</verse>
				<verse number="26">මේ කාලයේ ඇති දුක් විපත් නිසා යමෙක් තමා සිටින තත්ත්වයෙහි ම සිටින්නේ නම් යහපතැ යි සිතමි.</verse>
				<verse number="27">ඔබ ස්ත්‍රියක සමඟ විවාහ වී සිටින්නෙහි නම් ඇයගෙන් නිදහස් වන්නට නොසොයන්න. ඔබ ස්ත්‍රියක සමඟ විවාහ වී නැත්නම් භාර්යාවක් නොසොයන්න.</verse>
				<verse number="28">එහෙත් ඔබ විවාහ වූවත් එයින් ඔබට පාපයක් නැත. කන්‍යාවක විවාහ වූවත් එයින් ඇයට පාපයක් නැත. එසේ වුව ද එවැනි අයට මේ ලෝකයෙහි දුක් විපත් ඇති වන්නේ ය. මම ඔබ ඒවායින් වළක්වාලීමට කැමැත්තෙමි.</verse>
				<verse number="29">සහෝදරවරුනි, මේ දේ කියනු කැමැත්තෙමි. එනම් වැඩි කාලයක් ඉතිරි වී නැත. මෙතැන් සිට,</verse>
				<verse number="30">භාර්යාවන් ඇත්තන්, භාර්යාවන් නැත්තන් මෙන් ද, හඬන්නන් නොහඬන්නන් මෙන් ද, ප්‍රීති වන්නන් ප්‍රීති නොවන්නන් මෙන් ද, මිලයට ගන්නන් ගත් දෙයට අයිතියක් නැති අය මෙන් ද,</verse>
				<verse number="31">මෙලොව සැපසම්පත් භුක්ති විඳින්නන්, ඒවායේ ම ඇලීගැලී නොසිටින්නන් මෙන් ද සිටිය යුතු යයි මම ඔබට කියමි. මන්ද, දැන් පවතින මේ ලෝකය පහ වී යන්නේ ය.</verse>
				<verse number="32">ඔබ සිත් තැවුලින් තොර ව සිටිනවාට මම කැමැත්තෙමි. අවිවාහක තැනැත්තේ සමිඳාණන් වහන්සේ ප්‍රසන්න කරන්නේ කෙසේ දැ යි සිතමින් උන් වහන්සේගේ කාරණා ගැන අධික සැලකිල්ලක් දක්වන්නේ ය.</verse>
				<verse number="33">විවාහක තැනැත්තේ තම භාර්යාව සතුටු කරන්නේ කෙසේ දැ යි සිතමින් ලෝකයේ කාරණා ගැන අධික සැලකිල්ලක් දක්වන්නේ ය.</verse>
				<verse number="34">මෙලෙස ඔහුගේ සිතෙහි දෙගිඩියාවක් පවතී. අවිවාහක ස්ත්‍රිය හෝ කන්‍යාව හෝ ඈ ශාරීරික ලෙස හා ආධ්‍යාත්මික ලෙස සමිඳාණන් වහන්සේට කැප ව සිටින සේ උන් වහන්සේගේ කාරණා ගැන අධික සැලකිල්ලක් දක්වන්නී ය. එහෙත් විවාහක ස්ත්‍රිය තම පුරුෂයා සතුටු කරන්නේ කෙසේ දැ යි සිතමින් ලෝකයේ කාරණා ගැන අධික සැලකිල්ලක් දක්වන්නී ය.</verse>
				<verse number="35">මා මෙය කියන්නේ ඔබගේ ම යහපත පිණිස ය. ඔබගේ නිදහස සීමා කිරීමට මගේ අදහසක් නැත. මගේ කැමැත්ත නම් ඔබ විනීත ලෙස ඉත සිතින් සමිඳාණන් වහන්සේට සේවය කිරීම ය.</verse>
				<verse number="36">යමෙක් දැඩි රාගික ඇල්ම නිසා තම විවාහ අපේක්ෂිකාව පිළිබඳ ව තමා සුදුසු ලෙස ක්‍රියා නොකරන බවත්, විවාහ වීම යුතු බවත් ඔහුට හැඟේ නම්, ඔහුගේ කැමැත්ත අනුව, ඔව්හු විවාහ වෙත් වා. එහි පාපයක් නැත.</verse>
				<verse number="37">යමෙක් විවාහ නොවීමට ස්ථීර ලෙස අදහස් කර ඇත්නම්, යම් කිසි බලපෑමක් ද නැත්නම්, තමාගේ සිත සම්පූර්ණයෙන් දමනය කිරීමට ද ඔහුට හැකි නම්, සිය විවාහ අපේක්ෂිකාව සමඟ විවාහ නොවීම යහපති.</verse>
				<verse number="38">මෙසේ විවාහ අපේක්ෂිකාව සමඟ විවාහ වන්නා කරන්නේ හොඳ දෙයකි. විවාහ නොවන්නා කරන්නේ වඩාත් හොඳ දෙයකි.</verse>
				<verse number="39">භාර්යාවක් සිය ස්වාමි පුරුෂයා ජීවත් ව සිටින තුරු ඔහුට බැඳී සිටින්නී ය. ස්වාමි පුරුෂයා මළොත් ඈ කැමැති කෙනෙකු සමඟ විවාහ වීමට ඈට නිදහස ඇත. එහෙත් එය ක්‍රිස්තියානි විවාහයක් විය යුතු ය.</verse>
				<verse number="40">ඈ සිටින ලෙස ම සිටින්නී නම්, වඩා වාසනාවන්ත ය. එය මගේ අදහසයි. එපමණක් නොව, දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මා තුළ වැඩ වසන බව ද, මම විශ්වාස කරමි.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">දේවතාවන්ට පුදන පිදේනි ගැන මම දැන් කතා කරමි. අප සියල්ලන්ට ම ඥානය ඇති බව අපි දනිමු. ඥානය අහංකාරය උපදවයි. එහෙත් ප්‍රේමය ශුභසිද්ධිය සලසයි.</verse>
				<verse number="2">යමෙක් තමා යමක්කමක් දන්නේ යයි සිතයි නම්, දත යුතු අන්දමට ඔහු තව ම දැනගෙන නැත.</verse>
				<verse number="3">එහෙත් යමෙක් දෙවියන් වහන්සේට ප්‍රේම කරයි නම් දෙවියන් වහන්සේ ඔහු දන්නා සේක.</verse>
				<verse number="4">දේවතාවන්ට පුදන පිදේනි වැළඳීම ගැන කුමක් කියමු ද? දේවතා පිළිමයකින් නිරූපණය වන කිසිවෙකු නැති බවත්, එක ම දෙවි කෙනෙකු මිස අන් දෙවි කෙනෙකු නැති බවත් අපි දනිමු.</verse>
				<verse number="5">සුරලොව හා නරලොව ‘දෙවිවරුන්’ යයි කියන අය ඇතත් මෙවැනි ‘දෙවිවරුන්’ හා ‘ස්වාමිවරුන්’ බොහෝ දෙනෙකු සිටියත්,</verse>
				<verse number="6">අපට ඇත්තේ එක ම දෙවි වන පියාණන් වහන්සේ ය. සියල්ල මවා ඇත්තේ උන් වහන්සේ ය. අප ජීවත් වන්නේත් උන් වහන්සේ උදෙසා ය. තවද, අපට ඇත්තේ ජේසුස් ක්‍රිස්තුස් නම් එක ම සමිඳාණන් වහන්සේ ය. සියල්ල මවා ඇත්තේත්, අප ජීවත් වන්නේත් උන් වහන්සේ කරණකොටගෙන ය.</verse>
				<verse number="7">එහෙත් හැම දෙන ම එය නොදනිති. දේවතා පූජාවට පුරුදු වී සිටින සමහරු ඔවුන් වළඳන ආහාර දේවතාවන්ට පිදූ පිදේනි යයි තවමත් සිතති. මෙලෙස ඔවුන්ගේ හෘදය සාක්ෂිය දුර්වල බැවින්, එය කෙලෙසී ඇත.</verse>
				<verse number="8">ආහාරය නිසා දෙවියන් වහන්සේ සමඟ සම්බන්ධයක් ඇති නොවේ. නොකෑමෙන් වන අවැඩක් නැත; කෑමෙන් වන වැඩක් ද නැත.</verse>
				<verse number="9">ඔබට ඇති මේ නිදහස කිසි ලෙසකින් දුබලයනට බාධාවක් නොවන්නට වග බලාගන්න.</verse>
				<verse number="10">දැනුම ඇති ඔබ, දේවාලයක කෑමට වාඩි වී සිටින බව දුර්වල යමෙකු දුටුවොත්, දේවතාවන්ට පිදූ පිදේනි කෑමට, ඔහුගේ හෘදය සාක්ෂියටත් ඉන් අනුබල නොලැබේ ද?</verse>
				<verse number="11">එසේ නම් ඒ සහෝදරයා උදෙසා ක්‍රිස්තුන් වහන්සේ මළ නමුත් දුර්වල වූ ඔහු, ඔබගේ දැනගැන්ම නිසා විනාශයට පත් වේ.</verse>
				<verse number="12">මෙසේ ඔබගේ සහෝදරයන්ට විරුද්ධ ව පව් කොට ඔවුන්ගේ දුර්වල හෘදය සාක්ෂිය තුවාළ කරන කල්හි ඔබ පව් කරන්නේ ක්‍රිස්තුන් වහන්සේට විරුද්ධ ව ය.</verse>
				<verse number="13">එබැවින් ආහාරය නිසා මාගේ සහෝදරයාට බාධාවක් වේ නම්, මාගේ සහෝදරයාට බාධාවක් නොපැමිණෙන පිණිස මින් මතු කිසි කලෙක මාංස නොවළඳමි.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">මම නිදහස් කෙනෙක් නොවෙම් ද? මම ප්‍රේරිතවරයෙක් නොවෙම් ද? අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ මම නුදුටිම් ද? ඔබ හැම, සමිඳාණන් වහන්සේ උදෙසා මා කළ සේවයේ ප්‍රතිඵල නොවන්නහු ද?</verse>
				<verse number="2">අන්‍යයන්ට මා ප්‍රේරිතවරයෙකු නොවෙතත්, යටත් පිරිසෙයින් ඔබට මම ප්‍රේරිතවරයෙක් වෙමි. මන්ද, සමිඳාණන් වහන්සේ තුළ මාගේ ප්‍රේරිතකම පිළිබඳ සහතිකයේ මුද්‍රාව ඔබ ය.</verse>
				<verse number="3">මට අභියෝග කරන්නන්ට මගේ පිළිතුර මේ ය.</verse>
				<verse number="4">කන්නත් බොන්නත් අපට අවසර නැද් ද?</verse>
				<verse number="5">සෙසු ප්‍රේරිතවරුන් ද සමිඳාණන් වහන්සේගේ සහෝදරයන් ද, කේපස් ද මෙන් කිතුනු බිරිඳක කැටුව යාමට අපටත් අවසර නැද් ද?</verse>
				<verse number="6">දිවි පෙවෙත සඳහා වැඩ කිරීමට බැඳී සිටින්නේ මා හා බාර්ණබස් පමණක් ද?</verse>
				<verse number="7">සිය වියදමෙන් යුද හමුදාවේ සේවයට යන කෙනෙක් ඇද් ද? මිදි වත්තක් වවා එහි පල නොකන කෙනෙක් ඇද් ද? ගව රැළක් ඇති කර උන්ගේ කිරි නොබොන්නේ කවරෙක් ද?</verse>
				<verse number="8">මේවා පොදු ජීවිතයෙන් ගත් උපහැරණ යයි නොසිතන්න. ව්‍යවස්ථාවත් එම දේ ම නොකියයි ද?</verse>
				<verse number="9">මන්ද, මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා ඇත්තේ: “ගොයම් පාගන ගවයාගේ කට නොබඳිනු” කියා ය. මෙයින් හැඟෙන්නේ දෙවියන් වහන්සේ ගවයන් ගැන සිතන බව ද?</verse>
				<verse number="10">සැබැවින් ම උන් වහන්සේ මෙය පවසා ඇත්තේ අප උදෙසා නොවේ ද? නිසැක ව ම එය ලියන ලද්දේ අප උදෙසා ය. හාන්නා හෑ යුත්තේ ද, ගොයම් පාගන්නා පෑගිය යුත්තේ ද, අස්වැන්නෙන් හිමි කොටස ලැබීමේ බලාපොරොත්තුවෙන් යයි ලියා ඇත.</verse>
				<verse number="11">අපි ඔබ අතර ආධ්‍යාත්මික දේ වපුළෙමු නම්, එහි අස්වැන්න වශයෙන් ලෞකික ලාභයක් නෙළාගැනීම එතරම් ලොකු දෙයක් ද?</verse>
				<verse number="12">අනිත් අයට ඔබ කෙරේ මෙවැනි අයිතියක් ඇත්නම් ඊටත් වඩා ලොකු අයිතියක් අපට නැද් ද? එසේ වුව ද මේ අයිතියෙන් ප්‍රයෝජනයක් නොගෙන ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්නට කිසිදු බාධාවක් නොවන සේ අපි සියල්ල දරාගනිමු.</verse>
				<verse number="13">දේව මාලිගාවේ සේවය කරන්නන් දේව මාලිගාවෙන් ආහාර ලබන බවත්, පූජාසනය මත පුදපූජා ඔප්පු කිරීමට සහාය වන්නන් පූජාවලින් කොටසක් ලබන බවත් ඔබ නොදන්නහු ද?</verse>
				<verse number="14">එසේ ම සුබ අස්න දේශනා කරන්නන්, ඒ සුබ අස්නේ සේවයෙන් තමන්ගේ දිවි පෙවෙත සලසාගත යුතු ය කියා සමිඳාණන් වහන්සේ නියෝග කර ඇත.</verse>
				<verse number="15">එහෙත් මේ අයිතිවාසිකම් කිසිවකින් මා ප්‍රයෝජන ගත්තේ නැත. මේ කාරණා මා ලියන්නේ එවැනි ප්‍රයෝජනයක් ලබාගැනීමේ අදහසින් නොවේ. එසේ කිරීමට වඩා මරණය මට හොඳ ය. කිසිවෙක් මාගේ මේ පාරට්ටුව නිෂ්ප්‍රභා නොකෙරෙත් වා!</verse>
				<verse number="16">මා සුබ අස්න දේශනා කරන නමුත් එය පාරට්ටු කරගැනීමට කාරණයක් නොවේ. මන්ද, සුබ අස්න දේශනා කිරීමට මම බැඳී සිටිමි. සුබ අස්න දේශනා නොකළොත් මම මහා කාලකණ්ණියෙක් වෙමි.</verse>
				<verse number="17">මාගේ ම කැමැත්තෙන් මම සුබ අස්න දේශනා කරම් නම්, වැටුපක් ලබාගැනීමේ අයිතියක් මට ඇත. එහෙත් මම මාගේ කැමැත්ත නොතකා, එම සේවය කරම් නම්, මා එසේ කරන්නේ දෙවියන් වහන්සේ මට පැවරූ කාර්යයක් ලෙස ය.</verse>
				<verse number="18">එසේ නම් මාගේ වැටුප කුමක් ද? ඒ වැටුප නම්, අය කිරීමක් නැති ව, සුබ අස්නේ සේවය වෙනුවෙන් වැටුපක් ලැබීමේ අයිතිය පැහැර හැර, සුබ අස්න දේශනා කිරීමයි.</verse>
				<verse number="19">මම සියල්ලන් අතර නිවහල් කෙනෙක් වුවත්, බොහෝ දෙනෙකු දිනාගන්නා පිණිස සියල්ලන්ගේ වහලෙක් වීමි.</verse>
				<verse number="20">ජුදෙව්වරුන් දිනාගන්නා පිණිස මම ජුදෙව්වරුන්ට ජුදෙව්වෙක් වීමි. ව්‍යවස්ථාව යටතේ සිටින ඔවුන් දිනාගන්නා පිණිස, ව්‍යවස්ථාවට යටත් නොවූ මම, ව්‍යවස්ථාවට යටත් වූ කෙනෙක් වීමි.</verse>
				<verse number="21">ව්‍යවස්ථාවෙන් බැහැර වූවන් දිනාගන්නා පිණිස, ව්‍යවස්ථාවෙන් බැහැර වූවන්ට, මම ව්‍යවස්ථාවෙන් බැහැර වූ කෙනෙක් වීමි. මා එසේ කෙළේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවෙන් බැහැර නොවූවත්, ක්‍රිස්තුන් වහන්සේගේ ව්‍යවස්ථාවට ඇතුළත් වී සිටින කෙනෙකු වශයෙනි.</verse>
				<verse number="22">දුර්වලයන් දිනාගන්නා පිණිස, මම දුර්වලයන්ට දුර්වලයෙක් වීමි. කෙසේ හෝ වේවා ටික දෙනෙකු වුවත් දිනාගන්නා පිණිස, මම සියල්ලෙහි දී ඒ ඒ තැනට ඔබින ලෙස ක්‍රියා කෙළෙමි.</verse>
				<verse number="23">මා මේ සියල්ල කරන්නේ, සුබ අස්න උදෙසා එහි ආශීර්වාදවලට හවුල්කාරයෙකු වන පිණිස ය.</verse>
				<verse number="24">දිවීම් තරඟයක දී බොහෝ දෙනෙකු දුවන නමුත්, ත්‍යාගය දිනා ගන්නේ එක් කෙනෙකු පමණක් බව ඔබ නොදන්නහු ද? එසේ ම ඔබත් දිනන පිණිස දුවන්න.</verse>
				<verse number="25">දිනන පිණිස වීර්ය කරන සෑම ක්‍රීඩකයෙක් ම හැම අතින් ම දැඩි පුහුණුවක් ලබයි. ඔවුන් එසේ කරන්නේ පර වී යන මල් ඔටුන්නක් ලබාගන්නා පිණිස ය. අප එසේ කරන්නේ පර වී නොයන ඔටුන්නක් ලබාගන්නා පිණිස ය.</verse>
				<verse number="26">එහෙයින් මා දුවන්නේ දිනුම් කණුව දෙස නොබලා දුවන්නෙකු මෙන් නොවේ. පහර දෙන්නේ සුළඟට පහර දෙන මල්ලව ක්‍රීඩකයෙකු මෙන් නොවේ.</verse>
				<verse number="27">මම මාගේ ශරීරය දැඩි ලෙස දමනය කර එය වහල් කරගනිමි. එසේ කරන්නේ අන්‍යයන්ට දේශනා කළායින් පසු, කිසි ලෙසකින් වත් මා ප්‍රතික්ෂේප කරනු නොලබන පිණිස ය.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">සහෝදරවරුනි, අපේ පියවරුන්ට කුමක් වී දැ යි ඔබට මතක් කර දීමට මම කැමැත්තෙමි. ඔව්හු සියල්ලෝ ම වලාකුළක මඟ පෙන්වීම ලැබූ හ. ඔව්හු සියල්ලෝ ම රතු මුහුදින් එතෙර වූ හ.</verse>
				<verse number="2">සියල්ලෝ ම වලාකුළක ද රතු මුහුදෙහි ද මෝසෙස් සමඟ සහභාගිකමට බව්තීස්ම-ස්නාපනය ලැබූ හ.</verse>
				<verse number="3">සියල්ලෝ ම එක ම දිව බොජුන් වැළඳූ හ.</verse>
				<verse number="4">සියල්ලෝ ම එක ම අමා පැන් පානය කළහ. ඔවුන් පානය කෙළේ ඔවුන් කැටුව ගිය දිව්‍ය පර්වතයකින් ය. ඒ පර්වතය නම් ක්‍රිස්තුන් වහන්සේ ය.</verse>
				<verse number="5">එහෙත් දෙවියන් වහන්සේ ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ප්‍රිය නොකළ සේක. එබැවින් ඔව්හු කාන්තාරයෙහි දී විනාශ වූ හ.</verse>
				<verse number="6">ඔවුන් නපුරු දෙයට ඇලුම් කළාක් මෙන්, අපත් නපුරු දෙයට ඇලුම් නොකරන පිණිස, මේ සියල්ල සිදු වූයේ අපට පාඩමක් වශයෙනි.</verse>
				<verse number="7">“සෙනඟ කෑමටත් බීමටත් වාඩි වී රූප වන්දනා උත්සවයට නැඟී සිටියෝ ය” කියා ලියා ඇත. ඔවුන්ගෙන් සමහරෙකු මෙන් රූප වඳින්නන් නොවන්න.</verse>
				<verse number="8">ඔවුන්ගෙන් සමහරෙකු අනාචාරයෙහි යෙදුණාක් මෙන් අපි අනාචාරයෙහි නොයෙදෙමු. එසේ යෙදුන අයගෙන් විසි තුන් දහසක් එක දවසෙහි ම මළහ.</verse>
				<verse number="9">ඔවුන්ගෙන් සමහරෙකු සමිඳාණන් වහන්සේ පරීක්ෂා කළාක් මෙන් අපි උන් වහන්සේ පරීක්ෂා නොකරමු. එසේ කිරීමෙන් ඔව්හු සර්පයන්ගෙන් විනාශ වූ හ.</verse>
				<verse number="10">ඔවුන්ගෙන් සමහරෙකු මැසිවිලි කීවාක් මෙන් මැසිවිලි නොකියන්න. මැසිවිලි කීමෙන් ඔව්හු මාර දූතයා විසින් විනාශ කරනු ලැබූ හ.</verse>
				<verse number="11">මේ සියල්ල ඔවුන්ට සිදු වූයේ පාඩමක් වන පිණිස ය. ඒවා ලියන ලද්දේ යුගාන්තයට පැමිණ සිටින අපට අනතුරු ඇඟවීමක් වශයෙනි.</verse>
				<verse number="12">තමා ස්ථීර ව සිටින්නේ යයි සිතන්නා නොවැටෙන ලෙස පරෙස්සම් වන්න.</verse>
				<verse number="13">පොදුවේ හැම මිනිසෙකුට ම මූණ පාන්නට ඇති පරීක්ෂා හැර අනෙකක් ඔබ වෙත පැමිණ නැත. ඔබට දරාගත නොහැකි පරීක්ෂා ඔබ පිට පැමිණීමට ඉඩ නොහැර, ඔබට පරීක්ෂා දැරිය හැකි වන සේ ඒ සමඟ ම ගැළවීමේ මඟක් ඔබට සලසා දෙන දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැකි ය.</verse>
				<verse number="14">එබැවින්, මාගේ ප්‍රේමවන්තයෙනි, රූප නමස්කාරය වෙතින් පලා යන්න.</verse>
				<verse number="15">සිහි නුවණ ඇත්තන්ට මෙන් මම ඔබට කතා කරමි. මා කියන දේ ඔබ ම විනිශ්චය කරන්න.</verse>
				<verse number="16">අප ආසිරි කුසලාන ගෙන ආශීර්වාද කරන විට ඉන් අදහස් වන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ රුධිරයේ සහභාගිකම නොවේ ද? අප රොටි කඩන විට ඉන් අදහස් වන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරයේ සහභාගිකම නොවේ ද?</verse>
				<verse number="17">රොටිය එකක් වන බැවින් අපි බොහෝ දෙනෙක් වුව ද, එකම ශරීරයක් වෙමු. මන්ද, අප එක රොටියක් බෙදාගන්නා බැවිනි.</verse>
				<verse number="18">ජුදෙව් ආගමික සිරිත ගැන සිතා බලන්න. පිදේනි වළඳන අය, ඒවායින් පුදනු ලබන දෙවියන් වහන්සේ සමඟ සහභාගි නොවෙත් ද?</verse>
				<verse number="19">එයින් මා අදහස් කරන්නේ කුමක් ද? දේවතා පිදේනිවල හෝ දේවතාවන්ගේ හෝ යම් වටිනාකමක් ඇතැයි කියා ද?</verse>
				<verse number="20">නැත. මා එයින් අදහස් කරන්නේ මිසදිටුවන් පුදන පිදේනි ඔවුන් පූජා කරන්නේ දෙවියන් වහන්සේට නොව දුෂ්ටාත්මයන්ට බවයි. දුෂ්ටාත්මයන් සමඟ ඔබ සහභාගි වෙනවාට මම කැමැති නොවෙමි.</verse>
				<verse number="21">ඔබට සමිඳාණන් වහන්සේගේ කුසලානෙන් ද දුෂ්ටාත්මයන්ගේ කුසලානෙන් ද පානය කළ නොහැක. සමිඳාණන් වහන්සේගේ මේසයට ද දුෂ්ටාත්මයන්ගේ මේසයට ද ඔබට සහභාගි විය නොහැක.</verse>
				<verse number="22">අපි සමිඳාණන් වහන්සේ කෝප කරමු ද? අපි උන් වහන්සේට වඩා බලවත් වෙමු ද?</verse>
				<verse number="23">“කැමැති දෙයක් කිරීමට නිදහස ඇතැ”යි කීවත් හැම දේ ම යෝග්‍ය නැත. කැමැති දෙයක් කිරීමට නිදහස ඇත. එහෙත් හැම දෙය ම ශුභසිද්ධියට ඉවහල් නොවේ.</verse>
				<verse number="24">කිසිවෙකු තමාගේ ම වාසිය නොසොයා අසල්වාසියාගේ යහපත සෙවිය යුතු ය.</verse>
				<verse number="25">වෙළෙඳ පොළේ විකුණන හැම කෑමක් ම, හෘදය සාක්ෂියෙන් නැඟෙන ප්‍රශ්න නොවිමසා වළඳන්න.</verse>
				<verse number="26">මන්ද, පොළොවත් එහි ඇති සියල්ලත් සමිඳාණන් වහන්සේගේ ය.</verse>
				<verse number="27">නොඅදහන්නන්ගෙන් යමෙකු ඔබට ආරාධනා කළොත්, ඔබ යන්නට කැමැති නම්, එහි ගොස්, ඔබ ඉදිරියෙහි තබා ඇති කොයි දෙයක් වුවත්, හෘදය සාක්ෂියෙන් නැඟෙන ප්‍රශ්න නොවිමසා වළඳන්න.</verse>
				<verse number="28">එහෙත් “මෙය දේවතා පිදේනියකැ”යි යමෙකු ඔබට කීවොත්, එසේ දැන්වූ තැනැත්තා නිසාත්, හෘදය සාක්ෂිය නිසාත්, ඒ ආහාර නොවළඳන්න.</verse>
				<verse number="29">හෘදය සාක්ෂිය නිසා යයි මා කියන්නේ ඔබගේ නොව අනිත් අයගේ හෘදය සාක්ෂිය ගැන ය. කෑම පිළිබඳ මට ඇති නිදහස, අන් කෙනෙකුගේ හෘදය සාක්ෂිය මත රඳා පවතින්න ඇති උවමනාව කුමක් ද?</verse>
				<verse number="30">මම ස්තුති දී වළඳන්නෙම් නම් එසේ ස්තුති දී වළඳන දේ ගැන මට දොස් තබන්නේ මන් ද?</verse>
				<verse number="31">එහෙයින් ඔබ කෑවත් බීවත්, වෙන දෙයක් කළත්, සියල්ල දේව ගෞරවය පිණිස කරන්න.</verse>
				<verse number="32">ජුදෙව්වරුන්ට වත්, ග්‍රීකයන්ට වත්, දෙවියන් වහන්සේගේ සභාවට වත් බාධාවට හේතුවක් නොවන්න.</verse>
				<verse number="33">මම නම් මාගේ ම ප්‍රයෝජනය නොසොයා, බොහෝ දෙනෙකුගේ ගැළවීම පිණිස, ඔවුන්ගේ ප්‍රයෝජනය සොයා, සියල්ලෙහි දී සියල්ලන් සතුටු කරමි.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">මා ක්‍රිස්තුන් වහන්සේ ආදර්ශයට ගන්නාක් මෙන් ඔබ ද, මා ආදර්ශයට ගන්න.</verse>
				<verse number="2">ඔබ නිතර ම මා සිහි කරන බැවින් ද මා ඔබට බාර දුන් සම්ප්‍රදායයන් ඔබ පවත්වන බැවින් ද මම ඔබට ප්‍රශංසා කරමි.</verse>
				<verse number="3">ක්‍රිස්තුන් වහන්සේ පුරුෂයා කෙරෙහි ප්‍රධානියා බව ද, පුරුෂයා ස්ත්‍රිය කෙරෙහි ප්‍රධානියා බව ද, දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ප්‍රධානියා බව ද මම ඔබට දන්වනු කැමැත්තෙමි.</verse>
				<verse number="4">හිස වසා යාච්ඤා කරන හෝ දිවැස් වැකි පවසන හෝ පුරුෂයා, තමාගේ ප්‍රධානියාට අගෞරව කරයි.</verse>
				<verse number="5">හිස නොවසා යාච්ඤා කරන හෝ දිවැස් වැකි පවසන ස්ත්‍රිය තමාගේ ප්‍රධානියාට අගෞරව කරයි. එසේ කිරීම ඈ හිස මුඩු කරගැනීම වැනි ය.</verse>
				<verse number="6">ස්ත්‍රියක් හිස වසා නොගනී නම් ඈ හිසකේ කපා ගනී වා. හිස මුඩු කිරීම හෝ හිසකේ කෑපීම, ස්ත්‍රියකට ලජ්ජාවක් නම් ඈ හිස වැස්මක් ඇති ව සිටී වා.</verse>
				<verse number="7">පුරුෂයා සිය හිස වසා නොගත යුතු ය. මන්ද, ඔහු දෙවියන් වහන්සේගේ ස්වරූපය හා ගෞරවය පිළිබිඹු කරන බැවිනි. එහෙත් ස්ත්‍රිය පුරුෂයාගේ ගෞරවය පිළිබිඹු කරයි.</verse>
				<verse number="8">පුරුෂයා ඇති වූයේ ස්ත්‍රියගෙන් නොවේ. ස්ත්‍රිය ඇති වූයේ පුරුෂයාගෙන් ය.</verse>
				<verse number="9">පුරුෂයා මවන ලද්දේ ස්ත්‍රිය උදෙසා නොවේ. ස්ත්‍රිය මවන ලද්දේ පුරුෂයා උදෙසා ය.</verse>
				<verse number="10">එබැවින් දේව දූතයන් නිසා, ස්ත්‍රිය ආධිපත්‍යයේ ලකුණක් හිස ලා ගත යුතු ය.</verse>
				<verse number="11">ඒ කෙසේ වෙතත් කිතුනු ජීවිතයෙහි, ස්ත්‍රියට පුරුෂයා ද පුරුෂයාට ස්ත්‍රිය ද අවශ්‍ය ම ය.</verse>
				<verse number="12">ස්ත්‍රිය පුරුෂයාගෙන් මවනු ලැබුවාක් මෙන් පුරුෂයා උපත ලබන්නේ ස්ත්‍රියගෙන් ය. සියල්ල දෙවියන් වහන්සේගෙන් ය.</verse>
				<verse number="13">ස්ත්‍රියක, හිස නොවසා, දෙවියන් වහන්සේට යාච්ඤා කිරීම හොබනේ ද කියා ඔබ ම විනිශ්චය කරන්න.</verse>
				<verse number="14">පුරුෂයෙකුට දික් වූ හිසකේ තිබීම ඔහුට අගෞරවයක් බවත්,</verse>
				<verse number="15">ස්ත්‍රියකට දික් වූ හිසකේ තිබීම ඈට ගෞරවයක් බවත්, එය ඇගේ හිස වැස්ම කොට ඇති බවත්, ස්වභාව ධර්මය ඔබට උගන්වා නැද් ද?</verse>
				<verse number="16">එහෙත් යමෙක් වාද කරන්න කැමැත්තේ නම්, ඒ ගැන කිව යුත්තේ, අපට වත්, දෙවියන් වහන්සේගේ සභාවලට වත් පෙර කී සිරිත හැර අන් සිරිතක් නැති බව ය.</verse>
				<verse number="17">මා මේ අනුශාසනා කරන විට මම ඔබට ප්‍රශංසා නොකරමි. මන්ද, ඔබේ රැස්වීම්වල දී යහපතට වඩා අයහපත සිදු වන බැවිනි.</verse>
				<verse number="18">පළමු ව ඔබ සභාවක් වශයෙන් රැස් වන විට ඔබ අතර භේද තිබෙන බව ආරංචි වී ඇත. එය තරමක් දුරට විශ්වාස කරමි.</verse>
				<verse number="19">ඔබ අතර අවංක අය කැපී පෙනෙන පිණිස, ඔබ අතර භේද තිබිය යුතු ය.</verse>
				<verse number="20">ඔබ සභාවක් වශයෙන් එක්රැස් වන විට, සමිඳාණන් වහන්සේගේ රාත්‍රි භෝජනය වැළඳීමක් සිදු නොවේ.</verse>
				<verse number="21">මන්ද, ඔබ කන විට එකිනෙකා තම තමාගේ ම කෑම අනික් අයට ප්‍රථමයෙන් කෑදරකමින් කන්නේ ය. ඒ නිසා එක් කෙනෙකු බඩගිනි ව සිටින අතර තව කෙනෙක් වෙරි වෙන තෙක් බොන්නේ ය.</verse>
				<verse number="22">ඇත්තට ම, ඔබට කන්නටත් බොන්නටත් ගෙදර දී බැරි ද? ඔබ දෙවියන් වහන්සේගේ සභාවට නිගා කරමින්, දිළිඳුන් ලජ්ජාවට පත් කරන්නහු ද? මා ඔබට කුමක් කියන්න ද? ඔබට ප්‍රශංසා කරම් ද? මේ ගැන නම් ප්‍රශංසා කළ නොහැකි ය.</verse>
				<verse number="23">මා ඔබට ඉගැන් වූ මේ පිළිවෙත ම සමිඳාණන් වහන්සේගෙන් ම ලැබුවෙමි. එනම්, ස්වාමීන් වන ජේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේ දී රොටියක් රැගෙන,</verse>
				<verse number="24">ස්තුති කොට, කඩා: “මෙය ඔබ උදෙසා දෙන මාගේ ශරීරය ය. මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="25">එලෙස ම රාත්‍රි කෑමෙන් පසු කුසලාන ද රැගෙන: “මේ කුසලාන මාගේ රුධිරයෙන් පිහිටුවන නව ගිවිසුම ය. යම් පමණ වර ඔබ මෙයින් පානය කරන්නහු ද, එපමණ වර මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ”යි වදාළ සේක.</verse>
				<verse number="26">ඔබ යම් පමණ වර මේ රොටි අනුභව කරන්නහු ද, මේ කුසලානෙන් පානය කරන්නහු ද, එපමණ වර සමිඳාණන් වහන්සේ වඩින තුරු, ඔබ උන් වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නහු ය.</verse>
				<verse number="27">එහෙයින් නුසුදුසු ලෙස සමිඳාණන් වහන්සේගේ මේ රොටි වළඳන, මේ කුසලානෙන් පානය කරන කවරෙක් වුව ද, එසේ වැළඳීමෙන් හා පානය කිරීමෙන් සමිඳාණන් වහන්සේගේ ශරීරයට හා රුධිරයට විරුද්ධ ව පව් කිරීමේ වරදකරුවෙක් වන්නේ ය.</verse>
				<verse number="28">එබැවින් මේ රොටි වැළඳීමටත්, මේ කුසලානෙන් පානය කිරීමටත් පෙර එක් එක්කෙනා තම තමා සෝදිසි කරගත යුතු ය.</verse>
				<verse number="29">සමිඳාණන් වහන්සේගේ ශරීරය යන්නෙහි තේරුම නොවිමසා, රොටි වළඳන, කුසලානෙන් පානය කරන තැනැත්තේ එසේ වැළඳීමෙන් හා පානය කිරීමෙන් තමා ම වරදකරුවෙක් කරගන්නේ ය.</verse>
				<verse number="30">මේ නිසා ඔබ අතර බොහෝ දෙනෙක් දුබල ව, රෝගී ව සිටිති. සමහර දෙනෙක් මරණයට ගොදුරු වී සිටිති.</verse>
				<verse number="31">එහෙත් අපි අප ම සෝදිසි කර ගනිමු නම්, අප විනිශ්චය කරනු ලබන්නේ නැත.</verse>
				<verse number="32">එහෙත් සමිඳාණන් වහන්සේ විසින් විනිශ්චය කරනු ලැබීමෙන්, අප හික්මවනු ලබන්නේ ලෝකයා සමඟ වරදට පත් නොවන පිණිස ය.</verse>
				<verse number="33">එබැවින් මාගේ සහෝදරවරුනි, ඔබ රාත්‍රි භෝජනයට එක්රැස් වන විට, අනුන් නොසලකා, කන්නට ඉක්මන් නොවන්න.</verse>
				<verse number="34">යමෙකුට බඩගිනි නම්, ඔබගේ රැස්වීම දේව දඬුවමට පාත්‍ර නොවන ලෙස, ඔහු ගෙදර දී කෑවාවේ. අනිත් කරුණු ගැන, මා පැමිණි විට, මම පිළිවෙළක් කරමි.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">සහෝදරවරුනි, ශුද්ධාත්ම දීමනා ගැන නියම තතු ඔබ දැන සිටිනවාට මම කැමැත්තෙමි.</verse>
				<verse number="2">ඔබ මිසදිටුවන් ව සිටිය දී, හදිසි පෙළඹීම්වලට අසු වී, ගොළු දේවතා පිළිම වෙත ඇදී ගිය හැටි ඔබ දන්නහු ය.</verse>
				<verse number="3">එබැවින්, දේවාත්මයාණන් කරණකොටගෙන කතා කරන කිසිවෙකු ‘ජේසුස් වහන්සේ සාප ලත් කෙනෙකැ’යි නොකියන බව ද, ශුද්ධාත්මයාණන් කරණකොටගෙන මිස “ජේසුස් වහන්සේ සමිඳාණන් වහන්සේ ය”යි කීමට කිසිවෙකුට නොහැකි බව ද මම ඔබට තරයේ කියා සිටිමි.</verse>
				<verse number="4">විවිධාකාර දීමනා ඇතත්, සිටින්නේ එක ම ශුද්ධාත්මයාණෝ ය.</verse>
				<verse number="5">විවිධාකාර සේවා ඇතත්, සිටින්නේ එක ම සමිඳාණන් වහන්සේ ය.</verse>
				<verse number="6">විවිධාකාර දේව බල ක්‍රියා කරතත්, සිටින්නේ සියල්ලන් තුළ ක්‍රියා කරන එක ම දෙවියන් වහන්සේ ය.</verse>
				<verse number="7">අන්‍යොන්‍ය යහපත සඳහා එකිනෙකාට ආත්මයාණන්ගේ ප්‍රකාශවීමක් දී ඇත.</verse>
				<verse number="8">කෙනෙකුට ආත්මයාණන් මඟින් උවදෙස් දීමේ ප්‍රඥාව ද, තවත් කෙනෙකුට එම ආත්මයාණන් මඟින් ම ධර්මය පහදා දීමේ ඥානය ද දී ඇත.</verse>
				<verse number="9">අන් කෙනෙකුට ආත්මයාණන් තුළ විශ්වාසය ද, එම ආත්මයාණන් තුළ තවත් කෙනෙකුට සුව කිරීමේ වරම ද දී ඇත.</verse>
				<verse number="10">තවත් කෙනෙකුට හාස්කම් කිරීමේ බලය ද, තවත් කෙනෙකුට දිවැසි වැකි කීමේ බලය ද, තවත් කෙනෙකුට ආත්ම විමසීමේ හැකියාව ද තවත් කෙනෙකුට අන් භාෂාවලින් කතා කිරීමේ පුළුවන්කම ද තවත් කෙනෙකුට එය පහදා දීමේ ශක්තිය ද දී ඇත.</verse>
				<verse number="11">මේ සියලු දීමනා, තමන් කැමැති පරිදි, වෙන් වෙන් වශයෙන් එකිනෙකාට බෙදා දෙන්නේ එක ම ආත්මයාණන් වහන්සේ ය.</verse>
				<verse number="12">මනුෂ්‍ය ශරීරයෙහි බොහෝ අවයව තිබුණත් ඒ අවයව විවිධාකාර වුවත් ඒ සියල්ල එක ම ශරීරයක් වන්නාක් මෙන් ක්‍රිස්තුන් වහන්සේත් එක ම ශරීරයක් වන සේක.</verse>
				<verse number="13">මන්ද, ජුදෙව්වරුන් හෝ ග්‍රීකයන් හෝ වේවා, වහලුන් හෝ නිදහස් අය හෝ වේවා, අපි සියල්ලෝ ම එක ම ආත්මයාණන් තුළ එක ම ශරීරයක් වන ලෙස, බව්තීස්ම-ස්නාපනය ලැබීමු. අපි සියල්ලෝ ම එක ම ආත්මයාණන්ගෙන් පානය කර සිටිමු.</verse>
				<verse number="14">ශරීරය එක අවයවයක් නොව බොහෝ අවයවවලින් යුක්ත වූවකි.</verse>
				<verse number="15">යම් හෙයකින් පාදය: “මම අත නොවන බැවින් ශරීරයට අයිති නොවෙමි”යි කීවත්, ඒ නිසා එය ශරීරයට අයිති නොවන්නේ නොවේ.</verse>
				<verse number="16">එසේ ම කණ: “මම ඇස නොවන බැවින් ශරීරයට අයිති නොවෙමි”යි කීවත්, ඒ නිසා එය ශරීරයට අයිති නොවන්නේ නොවේ.</verse>
				<verse number="17">මුළු ශරීරය ඇසක් නම් ශ්‍රවණය කොයි ද? මුළු ශරීරය කනක් නම් ගඳ සුවඳ විඳීම කොයි ද?</verse>
				<verse number="18">සැබැවින් ම දෙවියන් වහන්සේ තමන් කැමැති පරිදි ඒ එක් එක් අවයවය ශරීරයෙහි පිහිටුවා ඇත.</verse>
				<verse number="19">ඒ අවයව සියල්ල ම එක ම අවයවයක් වේ නම් එවිට ශරීරයක් කොයින් ද?</verse>
				<verse number="20">මේ අනුව බොහෝ අවයව තිබෙන නමුත් ඇත්තේ එක ම ශරීරයකි.</verse>
				<verse number="21">ඒ නිසා “නුඹ මට ඕනෑ නැතැ”යි අත අමතා ඇසට වත්, “නුඹලා මට ඕනෑ නැතැ”යි පා අමතා හිසට වත් කීමට නොහැකි ය.</verse>
				<verse number="22">සැබැවින් ම, ශරීරයේ දුර්වල යයි සලකන අවයව අත්‍යවශ්‍ය වේ.</verse>
				<verse number="23">තවද අපි, ශරීරයෙහි සුළුකොට සලකන අවයවයන් වඩාත් ගරු කොට සලකමු. ඇරත් ශෝභා සම්පන්න නො වූ අවයවයන්ට වඩාත් ශෝභනත්වයක් දෙමු.</verse>
				<verse number="24">මන්ද, ශෝභා සම්පන්න වූ අවයවයන්ට එවැනි උවමනාවක් නැත. ගරු කොට නොසලකන අවයවයන්ට දෙවියන් වහන්සේ වඩා ගරුත්වයක් දෙමින් ශරීරය සංයුක්ත කළ සේක.</verse>
				<verse number="25">එසේ කෙළේ ශරීරයේ භේදයක් නොතිබෙන පිණිසත්, සෑම අවයවයක් ම අනෙක් අවයවයන් එකාකාර ව සලකන පිණිසත් ය.</verse>
				<verse number="26">මෙසේ එක අවයවයක් වේදනා විඳී නම් ඒ සමඟ සියලු ම අවයවයෝ වේදනා විඳිති; එලෙස ම එක අවයවයක් ගෞරව ලබයි නම්, ඒ සමඟ සියලු ම අවයවයෝ ප්‍රීති වෙති.</verse>
				<verse number="27">එහෙයින් ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය ද වෙන් වෙන් වශයෙන් එහි අවයවයෝ ද වන්නහු ය.</verse>
				<verse number="28">මෙසේ දෙවියන් වහන්සේ පළමුකොට ප්‍රේරිතයන් ද දෙවනු ව දිවැසිවරයන් ද තුන්වනු ව ගුරුවරුන් ද ඉන්පසු හාස්කම් කරන අය ද සුව කිරීමේ වරම ලත් අය ද උපකාර කරන්නන් ද පරිපාලනය කරන්නන් ද විවිධ ශබ්ද ව්‍යවහාර කරන්නන් ද සභාවෙහි පිහිටුවා වදාළ සේක.</verse>
				<verse number="29">සියල්ලෝ ම ප්‍රේරිතයෝ ද? සියල්ලෝ ම දිවැසිවරයෝ ද? සියල්ලෝ ම ගුරුවරු ද? සියල්ලෝ ම හාස්කම් කරන්නෝ ද?</verse>
				<verse number="30">සුව කිරීමේ වරම සියල්ලන්ට ම තිබේ ද? සියල්ලෝ ම විවිධ ශබ්ද ව්‍යවහාර කරත් ද? සියල්ලෝ ම ශබ්ද පහදා දෙන්නෝ ද?</verse>
				<verse number="31">මේවාට වඩා උතුම් දීමනා කෙරෙහි අතිශයින් ආශා වන්න. දැන් මම ඔබට වඩාත් විශිෂ්ට මාර්ගයක් පෙන්වමි.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">මා මිනිසුන්ගේ ද දේව දූතයන්ගේ ද භාෂාවලින් කතා කරතත් ප්‍රේමය මට නැත්නම් මම ඝෝෂා කරන ඝණ්ඨාරයකට හෝ කටුක රාවය දෙන කෛතාලමකට හෝ සමාන වෙමි.</verse>
				<verse number="2">
					දිවැසි වැකි දෙසීමේ වරම මට තිබුණත්, සියලු අබිරහස් ගැන අවබෝධය ද සකල ඥානය ද මට ඇතත්, කඳු සෙලවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුණත් ප්‍රේමය මට නැත්නම් මම හිස් තැනැත්තෙක්මි.
				</verse>
				<verse number="3">දන් දීම සඳහා මා සතු සියල්ල වෙන් කළත්, මාගේ සිරුර ගිනි පූජාවක් සඳහා බිලි දුන්නත්, ප්‍රේමය මට නැත්නම් මට කිසි පලක් නැත.</verse>
				<verse number="4">ප්‍රේමය, ඉවසිලිවන්ත ය, කරුණාවන්ත ය; ප්‍රේමය, ඊර්ෂ්‍යා වන්නේ නැත, පාරට්ටු කරගන්නේ නැත, උඩඟු වන්නේ නැත;</verse>
				<verse number="5">ප්‍රේමය, අවිනීත නොවේ, ආත්මාර්ථකාමි නොවේ, හනික නොකිපේ, නපුර සිතේ ධාරණය කර නොගනියි;</verse>
				<verse number="6">ප්‍රේමය, අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවී, හරි දේ ගැන ප්‍රීති වෙයි.</verse>
				<verse number="7">ප්‍රේමය, සියල්ල උසුලයි. ප්‍රේමයෙහි, විශ්වාසයට ඉමක් නැත, බලාපොරොත්තුවට නිමක් නැත, ඉවසීමට අගක් නැත.</verse>
				<verse number="8">ප්‍රේමය සදාතනික ය. දිවැස් වැකි වුව ද පහ ව යන්නේ ය; විවිධ ශබ්ද දෙසීම් වුව ද නිම වන්නේ ය; ඥානය වුව ද නැති වන්නේ ය.</verse>
				<verse number="9">මන්ද, අපේ ඥානය අසම්පූර්ණ ය, දිවැස් වැකි දෙසීම ද අසම්පූර්ණ ය.</verse>
				<verse number="10">සම්පූර්ණ දේ පැමිණි විට, අසම්පූර්ණ දේ පහ ව යන්නේ ය.</verse>
				<verse number="11">බාල වියෙහි දී මම බාලයෙකු මෙන් කතා කෙළෙමි; බාලයෙකු මෙන් සිතුවෙමි; බාලයෙකු මෙන් තේරුම් ගතිමි. එහෙත් මම දැන් වයසින් මුහුකුරා සිටින බැවින් ළාමක දේ අත් හැර සිටිමි.</verse>
				<verse number="12">දැන් අපට කැඩපතකින් මෙන් නොපැහැදිලි ව පෙනෙන්නේ ය. මතු අපි මුහුණට මුහුණ ලා දකින්නෙමු. දැන් මාගේ දැනුම අසම්පූර්ණ ය. එහෙත් මතු, මා පිළිබඳ දෙවියන් වහන්සේගේ දැනුම මෙන් මාගේ දැනුම ද සම්පූර්ණ වන්නේ ය.</verse>
				<verse number="13">ඇදහිල්ල, බලාපොරොත්තුව හා ප්‍රේමය සදහට ම පවතින ධර්මතා තුනකි. මෙයින් ශ්‍රේෂ්ඨතම වන්නේ ප්‍රේමය ය.</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">ප්‍රේමය ඔබේ පරමාර්ථය කර ගන්න. ආත්මික දීමනා, ප්‍රධාන කොට දිවැස් වැකි දෙසීම අත් කරගැනීමට වීර්ය කරන්න.</verse>
				<verse number="2">අන් භාෂා කථනය කරන්නා මිනිසුන්ට නොව දෙවියන් වහන්සේට කතා කරයි. ඔහු ආත්මයාණන් කරණකොටගෙන අබිරහස් කතා කරන බැවින් කිසිවෙකුට ඔහු තේරුම්ගත නොහැක.</verse>
				<verse number="3">එහෙත් දිවැස් වැකි දෙසන්නා, අභිවෘද්ධිය ද ධෛර්යය හා සැනසීම ද දෙන වචන මිනිසුන්ට කතා කරයි.</verse>
				<verse number="4">අන් භාෂා කථනය කරන්නා තමාගේ ම අභිවෘද්ධිය සලසාගනියි. එහෙත් දිවැස් වැකි දෙසන්නා සභාවේ අභිවෘද්ධිය සලසන්නේ ය.</verse>
				<verse number="5">ඔබ හැම දෙන ම අන් භාෂා කථනය කරනවාට මම කැමැත්තෙමි. එහෙත් ඔබ දිවැස් වැකි දෙසන්නේ නම් ඊටත් වඩා කැමැත්තෙමි. අන් භාෂා කථනය කරන්නා, සභාවේ අභිවෘද්ධිය සඳහා කියන දෙය විසඳා නොදේ නම් ඔහුට වඩා දිවැසි වැකි දෙසන්නා උතුම් ය.</verse>
				<verse number="6">සහෝදරවරුනි, මා ඔබ වෙත පැමිණ එළිදරව් කිරීමේ ද ප්‍රඥාවේ ද දිවැසි වැකි දෙසීමේ ද අනුශාසනාවේ ද වචනවලින් ඔබට කතා නොකොට, අන් භාෂා කථනය කළොත් එයින් ඔබට කුමන ප්‍රයෝජනයක් ද?</verse>
				<verse number="7">එලෙස ම, නළාව හෝ වීණාව හෝ වැනි අප්‍රාණික භාණ්ඩ වාදනය කරන විට නික්මෙන සංගීත ස්වර අතර වෙනසක් නැත්නම්, ඒවායින් කුමන තාලයක් වාදනය වන්නේ දැ යි හඳුනාගන්නේ කෙසේ ද?</verse>
				<verse number="8">යුද හොරණෑව පැහැදිලි හඬක් නොදේ නම් කවරෙක් සටනට සැරසේ ද?</verse>
				<verse number="9">එසේ ම, ඔබ අන් භාෂා කථනය කරන විට, පැහැදිලි ව කතා නොකරන්නෙහි නම්, ඔබ කියන දේ තේරුම්ගන්නේ කෙසේ ද? එය ඔබ සුළඟට කතා කරන්නාක් මෙන් වේ.</verse>
				<verse number="10">ලෝකයේ විවිධ භාෂා ඇතත්, ඉන් එකක් වත් අර්ථ විරහිත නොවේ.</verse>
				<verse number="11">ඒ නිසා කතා කරන භාෂාවේ තේරුම නොදනිම් නම් එය කතා කරන්නාට මම විදේශිකයෙක් වෙමි. ඔහු ද මට විදේශිකයෙක් වන්නේ ය.</verse>
				<verse number="12">එසේ ම ඔබත් ආධ්‍යාත්මික කුශලතා අත්කර ගැන්මට උද්‍යෝගිමත් බැවින්, සභා අභිවෘද්ධිය සැලසෙන ඒවායින් පූර්ණ ව සිටීමට උත්සාහ කරන්න.</verse>
				<verse number="13">එබැවින් අන් භාෂාවක් කථනය කරන්නා, එය විසඳා දීමට ද හැකි වන ලෙස යාච්ඤා කරාවා.</verse>
				<verse number="14">මා අන් භාෂාවකින් යාච්ඤා කරන විට මාගේ ආධ්‍යාත්මය යාච්ඤා කරන නමුත් මාගේ සිහිකල්පනාව ක්‍රියා විරහිත ය.</verse>
				<verse number="15">එසේ නම් කුමක් කරම් ද? මම ආධ්‍යාත්මයෙන් යාච්ඤා කරමි; සිහිකල්පනාවෙන් ද යාච්ඤා කරමි; ආධ්‍යාත්මයෙන් තුති ගී ගයමි, සිහිකල්පනාවෙන් ද තුති ගී ගයමි.</verse>
				<verse number="16">ඔබ ආධ්‍යාත්මයෙන් තුති පුදන විට, එය පිළිබඳ උගැනුම නොලත් තැනැත්තා, ඔබ කියන්නේ කුමක් දැ යි නොදන්නා බැවින්, ඔබගේ තුති පිදීමට ‘ආමෙන්’ යයි කියන්නේ කෙසේ ද?</verse>
				<verse number="17">ඔබගේ තුති පිදීම ඉස්තරම් විය හැකි ය. එහෙත් එයින් අනික් අයට වන යහපතක් නැත.</verse>
				<verse number="18">ඔබ සියල්ලන්ට වඩා මා අන් භාෂා කථනය කරන බැවින්, මම දෙවියන් වහන්සේට ස්තුති කරමි.</verse>
				<verse number="19">එහෙත් සභාවේ දී අන් භාෂාවකින් වචන දහසක් කථනය කරනවාට වඩා අන්‍යයන්ට උගන්වන පිණිස මාගේ සිහිකල්පනාවෙන් වචන පහක් කතා කරන්නට කැමැත්තෙමි.</verse>
				<verse number="20">සහෝදරවරුනි, සිහිබුද්ධියෙන් ළාමක නොවන්න. නපුර සම්බන්ධයෙන් බිළිඳුන් වන්න. සිහිබුද්ධියෙන් වැඩිහිටියන් වන්න.</verse>
				<verse number="21">“අන් භාෂාවලිනුත්, අන්‍යයන්ගේ මුවිනුත්, මම මේ සෙනඟට කතා කරමි. එසේ වුවත් ඔව්හු මාගේ වචන නොඅසන්නෝ යයි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි ව්‍යවස්ථාවලියෙහි ලියා ඇත.</verse>
				<verse number="22">ඒ අනුව අන් භාෂා කථනය, අදහන්නන්ට නොව නොඅදහන්නන්ට ලකුණක් පිණිස වේ. එහෙත් දිවැසි වැකි දෙසීම නොඅදහන්නන් උදෙසා නොව අදහන්නන් උදෙසා ය.</verse>
				<verse number="23">එබැවින් මුළු සභාව එක්රැස් වූ කල සියල්ලෝ ම අන් භාෂා කථනය කරත් නම් මේ ගැන උගැනුම නොලත් අය හෝ නොඅදහන්නන් හෝ එහි පැමිණියොත් ඔබට ඔල්මාද යයි ඔවුන් කියන්නේ නැද් ද?</verse>
				<verse number="24">එහෙත් සියල්ලෝ ම දිවැස් වැකි දෙසත් නම්, නොඅදහන්නෙකු හෝ මේ ගැන උගැනුම නොලත් කෙනෙකු හෝ එහි පැමිණියොත්, සියල්ලන් කියන දෙයින් ඔහුගේ පාපය ඔහුට හඟවනු ලැබ, විනිශ්චය කරනු ලැබේ.</verse>
				<verse number="25">තවද ඔහුගේ සිතෙහි රහස් හෙළිවනු ඇත. එවිට ඔහු මුණින්තලා වී, “සැබැවින් ම ඔබ අතර දෙවියන් වහන්සේ වැඩ සිටින සේකැ”යි ප්‍රකාශ කරමින් උන් වහන්සේ නමදින්නේ ය.</verse>
				<verse number="26">එසේ නම්, සහෝදරවරුනි, කුමක් කළ යුතු ද? ඔබ එක්රැස් වන විට එක් එක්කෙනාට ගීතයක් ද අනුශාසනාවක් ද එළිදරව් කිරීමක් ද අන් භාෂා කථනයක් ද එය විසඳීමක් ද තිබිය හැකි ය. මේ සියල්ල ම සභාවේ අභිවෘද්ධිය පිණිස වේ වා!</verse>
				<verse number="27">අන් භාෂා කථනය කෙරේ නම්, එය දෙදෙනෙකු හෝ වැඩිම වුණොත් තිදෙනෙකු හෝ පමණක් කළ යුතු ය. එය ද කළ යුත්තේ කෙනෙකුට කෙනෙක් පසුව යි. විසඳා දෙන කෙනෙක් ද විය යුතු ය.</verse>
				<verse number="28">විසඳා දෙන කෙනෙක් නැත්නම්, අන් භාෂා කථනය කරන්නා සභාවේ නිශ්ශබ්ද ව සිටිය යුතු ය. ඔහු කතා කළ යුත්තේ තමාටත් දෙවියන් වහන්සේටත් ය.</verse>
				<verse number="29">දිවැසි වැකි දෙසන්නෝ දෙදෙනෙක් හෝ තිදෙනෙක් හෝ කතා කරත් වා. සෙසු අය ඔවුන් කියන දෙය විමසා බලත් වා.</verse>
				<verse number="30">එහෙත් එහි වාඩි වී සිටින යමෙකුට එළිදරව්වක් පහළ වූවොත් කතා කරමින් සිටින තැනැත්තා නිශ්ශබ්ද ව සිටිය යුතු ය.</verse>
				<verse number="31">සියල්ලන්ගේ ඉගෙනීම පිණිසත්, සියල්ලන්ගේ ධෛර්යය පිණිසත්, ඔබ සැමට ම, පිළිවෙළින් දිවැසි වැකි දෙසීමේ අවස්ථාව සැලසෙනු ඇත.</verse>
				<verse number="32">දිවැස් වැකි දෙසන අයගේ ආධ්‍යාත්මික කුශලතා ඔවුන්ගේ ම පාලනයෙහි තිබිය යුතු ය.</verse>
				<verse number="33">මන්ද, දෙවියන් වහන්සේ ව්‍යාකූලත්වයේ නොව සාමයේ දෙවියන් වහන්සේ ය. කිතුනුවන්ගේ සෑම සභාවල දී මෙන්</verse>
				<verse number="34">ස්ත්‍රීහු සභා රැස්වීම්වල දී නිශ්ශබ්ද ව සිටිත් වා. මන්ද, කතා කිරීමට ඔවුන්ට අවසරයක් නැත. ව්‍යවස්ථාවේ කියා තිබෙන පරිදි ඔව්හු ප්‍රමුඛ ව නොසිටිත් වා.</verse>
				<verse number="35">ඔව්හු යමක් දැනගන්නට කැමැති නම් ගෙදර දී ස්වකීය ස්වාමි පුරුෂයන්ගෙන් අසා දැනගනිත් වා. මන්ද, සභා රැස්වීමක දී කතා කිරීම ස්ත්‍රියකට නොහොබී.</verse>
				<verse number="36">දෙවියන් වහන්සේගේ වචනය නික්ම ගියේ ඔබ කෙරෙන් ද? නොහොත් එය පැමිණියේ ඔබ වෙත පමණක් ද?</verse>
				<verse number="37">යමෙක් තමා දිවැස් වැකි දෙසන්නෙකු හෝ ආධ්‍යාත්මික කුශලතා ඇත්තෙකු හෝ යයි සිතන්නේ නම්, මා ඔබට ලියන කරුණු සමිඳාණන් වහන්සේගෙන් එන ආඥාවක් බව ඔහු ඒත්තු ගනී වා.</verse>
				<verse number="38">යමෙක් මේ කරුණ නොසලකන්නේ නම් ඔබ ද ඔහු නොසලකා හැරිය යුතු ය.</verse>
				<verse number="39">එබැවින්, සහෝදරවරුනි, දිවැස් වැකි දෙසීමට තදින් ආසා වන්න; අන් භාෂා කථනය තහනම් නොකරන්න.</verse>
				<verse number="40">සියල්ල විනීත ව ද විධිමත් ව ද කළ යුතු ය.</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">තවද, සහෝදරවරුනි, මා ඔබට දේශනා කළ සුබ අස්න වෙත ඔබගේ අවධානය දැන් යොමු කරනු කැමැත්තෙමි. ඔබ එය පිළිගත්තහු ය; එහි පිහිටා සිටින්නහු ය.</verse>
				<verse number="2">ඒ මඟින් ඔබ ගැළවීම ලබන්නහු ය. එසේ වන්නේ මා ඔබට දෙසූ ලෙස ම, ඒ සුබ අස්න නිසැක ව පිළිගෙන, එය නිෂ්ඵල නොවන ලෙස විශ්වාස කළොත් පමණකි.</verse>
				<verse number="3">මා ඔබට බාර දුන්නේ මා ලබාගත් දෙය ම බව ප්‍රධාන කොට කිව යුතු ය. එනම් ශුද්ධ ලියවිල්ල ප්‍රකාර ක්‍රිස්තුන් වහන්සේ අපගේ පාප උදෙසා මළ බවත්,</verse>
				<verse number="4">වළලනු ලැබූ බවත්, ශුද්ධ ලියවිලි ප්‍රකාර තුන් වන දා උත්ථාන කරනු ලැබූ බවත්,</verse>
				<verse number="5">කේපස්ට හා පසුව දොළොස් දෙනාට දර්ශනය වූ බවත් ය.</verse>
				<verse number="6">ඉන්පසු උන් වහන්සේ පන් සියයකට වැඩි සහෝදර සමූහයකට එක විට ම දර්ශනය වූ සේක. මොවුන්ගෙන් සමහරුන් මියගිය ද, වැඩි දෙනා තවමත් ජීවත් ව සිටිති.</verse>
				<verse number="7">ඉන්පසු උන් වහන්සේ ජාකොබ්ට ද අනතුරුව සියලු ප්‍රේරිතයන්ට ද දර්ශනය වූ සේක.</verse>
				<verse number="8">අවසන් වශයෙන් අකලට උපන්නෙකු වැනි මට ද උන් වහන්සේ දර්ශනය වූ සේක.</verse>
				<verse number="9">මන්ද, මම ප්‍රේරිතවරයන්ගෙන් ඉතා සුළු තැනැත්තා ය. දෙවියන් වහන්සේගේ සභාවට පීඩා කළ බැවින් ප්‍රේරිතයෙකැ යි කියනු ලබන්නට වත් මම නොවටිමි.</verse>
				<verse number="10">එහෙත් මම යම් තත්ත්වයකට පැමිණ සිටිම් ද, එසේ පැමිණ සිටින්නේ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් ය. උන් වහන්සේ මට දුන් වරප්‍රසාදය නිෂ්ඵල නො වී ය. ඇත්තට ම මම ඔවුන් සියල්ලන්ට ම වඩා බොහෝ සෙයින් වැඩ කෙළෙමි. එහෙත් එසේ කෙළේ මා නොව මා තුළ වූ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ය.</verse>
				<verse number="11">එබැවින් මා වේවා, ඔවුන් වේවා, අප දේශනා කරන්නේ එක ම පණිවුඩය යි. ඔබ එය අදහාගත්තහු ය.</verse>
				<verse number="12">අප දේශනා කරන්නේ ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කරනු ලැබූ බව නම්, මළවුන්ගෙන් උත්ථාන වීමක් නැතැ යි ඔබගෙන් සමහරෙකු කියන්නේ කෙසේ ද?</verse>
				<verse number="13">මළවුන්ගෙන් උත්ථාන වීමක් නැත්නම්, ක්‍රිස්තුන් වහන්සේත් උත්ථාන කරනු නොලැබූ සේක.</verse>
				<verse number="14">ක්‍රිස්තුන් වහන්සේ උත්ථාන කරනු නොලැබූ සේක් නම් අපගේ දේශනා කිරීම නිරර්ථක ය; ඔබගේ ඇදහීමත් නිරර්ථක ය.</verse>
				<verse number="15">මළවුන් උත්ථාන කරනු ලැබීමක් නැත්නම්, දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ උත්ථාන කෙළේත් නැත. එසේ නම් දෙවියන් වහන්සේ උන් වහන්සේ උත්ථාන කළ සේකැ යි අප සාක්ෂි දුන් බැවින්, අපි බොරු සාක්ෂිකාරයෝ වම්හ.</verse>
				<verse number="16">මන්ද, මළවුන් උත්ථාන කරනු ලැබීමක් නැත්නම්, ක්‍රිස්තුන් වහන්සේත් උත්ථාන කරනු නොලැබූ සේක.</verse>
				<verse number="17">ක්‍රිස්තුන් වහන්සේ උත්ථාන කරනු නොලැබූ සේක් නම් ඔබගේ ඇදහීම නිරර්ථක ය; ඔබ තවමත් පාපයෙහි ඇලී සිටින්නහු ය.</verse>
				<verse number="18">එපමණක් නොව, ක්‍රිස්තුන් වහන්සේ අදහාගෙන මියගිය අය ද සදහට ම විනාශ වී ඇත.</verse>
				<verse number="19">ක්‍රිස්තුන් වහන්සේ තුළ අපේ බලාපොරොත්තුව මේ ජීවිතයට පමණක් සීමා වූවක් නම්, අපි සියල්ලන්ට ම වඩා කාලකණ්ණියෝ වෙමු.</verse>
				<verse number="20">එහෙත් සැබැවින් ම ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වී සිටින සේක් ම ය. මෙය මළවුන් උත්ථාන කරනු ලබන බවට සහතිකය වේ.</verse>
				<verse number="21">මන්ද, එක මිනිසෙකු කරණකොටගෙන මරණය පැමිණියාක් මෙන් ම, එක මිනිසෙකු කරණකොටගෙන මළවුන්ගෙන් උත්ථානය ද පැමිණියේ ය.</verse>
				<verse number="22">ආදම් තුළ සියල්ලන් මැරෙන්නාක් මෙන් ක්‍රිස්තුන් වහන්සේ තුළ සියල්ලෝ ම ජීවනයට පමුණුවනු ලබන්නෝ ය.</verse>
				<verse number="23">එසේ වන්නේ එක් එක්කෙනාට හිමි තැන අනුව ය. හැම දෙනාට ම පළමුවෙන් ක්‍රිස්තුන් වහන්සේ ය. ඉන්පසු ව, උන් වහන්සේගේ ආගමනයේ දී උන් වහන්සේ සන්තක අය ය.</verse>
				<verse number="24">පසුව අවසානය පැමිණේ. එවිට උන් වහන්සේ සියලු අධිපතිකම් ද බලය ද පරාක්‍රමය ද අභිබවා උන් වහන්සේගේ රාජ්‍යය දෙවි පියාණන් වහන්සේට භාර දෙන සේක.</verse>
				<verse number="25">මන්ද, දෙවියන් වහන්සේ සියලු සතුරන් උන් වහන්සේගේ පාද යට දමන තුරු ක්‍රිස්තුන් වහන්සේ රජකම් කළ යුතු ම ය.</verse>
				<verse number="26">නැති කිරීමට සිටින අන්තිම සතුරා මරණය වේ.</verse>
				<verse number="27">කුමක් නිසා ද, ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇති පරිදි: “දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේගේ පාදවලට සියල්ල යටත් කළ සේක.” “සියල්ල යටත් කරනු ලැබී ය”යි කීමෙන් ‘සියල්ල’ යන්නට දෙවියන් වහන්සේ අඩංගු නැති බව පැහැදිලි ය. එසේ කියන්නේ, ක්‍රිස්තුන් වහන්සේට සියල්ල යටත් කරන්නේ දෙවියන් වහන්සේ බැවිනි.</verse>
				<verse number="28">සියල්ල ක්‍රිස්තුන් වහන්සේට යටත් කරනු ලැබූ විට පුත්‍රයාණන් වහන්සේ ද, සියල්ල තමන්ට යටත් කළ දෙවියන් වහන්සේට යටත් කරනු ලබන සේක. එසේ වන්නේ දෙවියන් වහන්සේ සර්ව පරාක්‍රමයෙන් වැජඹෙන පිණිස ය.</verse>
				<verse number="29">සැබැවින් ම මළවුන්ගෙන් උත්ථාන වීමක් නැත්නම් මියගිය අය උදෙසා බව්තීස්ම-ස්නාපනය ලබන අයට කුමන ප්‍රයෝජනයක් සිදුවේ ද? මියගිය අය උදෙසා ඔවුන් බව්තීස්ම-ස්නාපනය ලබන්නේ කුමට ද?</verse>
				<verse number="30">එසේ නම් අපත් මොහොතින් මොහොත අන්තරායවලට මුහුණ පාන්නේ කුමට ද?</verse>
				<verse number="31">සහෝදරවරුනි, මම දිනපතා මරණය විඳිමි. මා එසේ කියන්නේ අප ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඔබ ගැන මට ඇති ආඩම්බරය නිසා ය.</verse>
				<verse number="32">මම මනුෂ්‍යත්වයෙන් කල්පනාකර එපීසයේ දී ‘වන මෘගයන්’ සමඟ මෙන් පොර බැදුවෙම් නම් මට ඇති ප්‍රයෝජනය කුමක් ද? මළවුන් උත්ථාන වීමක් නැත්නම්, එක් කියමනක් පරිදි, “හෙට අප මැරෙන බැවින්, අද කමු, බොමු.”</verse>
				<verse number="33">මුළා නොවන්න, “නරක ආශ්‍රයෙන් හොඳ චරිත වැනසේ.”</verse>
				<verse number="34">සිහිකල්පනාවෙන් සිටින්න. පව් නොකරන්න. ඔබෙන් සමහරෙකු දෙවියන් වහන්සේ ගැන දන්නා දෙයක් නැත. මා මෙය කියන්නේ ඔබ ලජ්ජාවට පමුණුවනු පිණිස ය.</verse>
				<verse number="35">එහෙත් මළවුන් උත්ථාන වන්නේ කෙසේ ද? ඔව්හු කුමන ආකාර ශරීරයක් ඇති ව එත් දැ යි කෙනෙකු අසන්නට පුළුවන.</verse>
				<verse number="36">මොන තරම් මෝඩ ප්‍රශ්නයක් ද? ඔබ ම වපුරන දෙය මළොත් මිස එයට නව දිවියක් ලැබෙන්නේ නැත.</verse>
				<verse number="37">ඔබ වපුරන්නේ මතු හටගන්නා වැඩුණු පැළය නොව, තිරිඟු හෝ වෙනත් ධාන්‍ය වර්ගයක හුදු බීජයක් පමණ ය.</verse>
				<verse number="38">දෙවියන් වහන්සේ තමන් කැමැති හැටියට ඒ පැළයට කඳක් දෙන සේක. එක එක බීජයට නියම කඳ දෙන සේක.</verse>
				<verse number="39">සියලු සත්වයන්ගේ මාංසය ඒකාකාර නොවේ. මිනිසුන්ගේ මාංසය එක් ආකාරයකි. මෘගයන්ගේ මාංසය තව ආකාරයකි. පක්ෂීන්ගේ මාංසය තවත් ආකාරයකි. මත්ස්‍යයන්ගේ මාංසය වෙනත් ආකාරයකි.</verse>
				<verse number="40">ආකාශ වස්තු ද භෞමික වස්තු ද ඇත. ආකාශ වස්තූන්ගේ ශෝභාව එකකි. භෞමික වස්තූන්ගේ ශෝභාව අනෙකකි.</verse>
				<verse number="41">සූර්යයාගේ ශෝභාව එක විධියකි. චන්ද්‍රයාගේ ශෝභාව තව විධියකි. තාරකාවන්ගේ ශෝභාව තවත් විධියකි. ශෝභාවෙන් තාරකාවක් තාරකාවකට වෙනස් ය.</verse>
				<verse number="42">මළවුන්ගෙන් උත්ථානය ඊට සමාන ය. වළලනු ලබන සිරුර දිරා යන්නකි. උත්ථාන කරනු ලබන්නේ නොදිරන්නකි.</verse>
				<verse number="43">වළලනු ලබන්නේ අගෞරවාන්විත වූවකි, උත්ථාන කරනු ලබන්නේ තේජාන්විත වූවකි. වළලනු ලබන සිරුර දුබල වූවකි, උත්ථාන කරනු ලබන්නේ ප්‍රබල වූවකි.</verse>
				<verse number="44">වළලනු ලබන්නේ ස්වාභාවික ශරීරයකි. උත්ථාන කරනු ලබන්නේ ආත්මික ශරීරයකි. ස්වාභාවික ශරීරයක් ඇති සේ ම ආත්මික ශරීරයක් ද ඇත.</verse>
				<verse number="45">එසේ ම ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති පරිදි: “පළමු මිනිසා වන ආදම් ජීවමාන කෙනෙක් විය.” අන්තිම ආදම් ජීවනදායක ආත්මයාණන් කෙනෙක් වූ හ.</verse>
				<verse number="46">එසේ වුවත් මුලින් පැමිණෙන්නේ ආත්මික දේ නොව, ස්වාභාවික දේ ය. පසුව ආත්මික දේ පැමිණේ.</verse>
				<verse number="47">පළමු මිනිසා භූමියෙන් ය; ඔහු භෞමික ය; දෙවෙනි මිනිසා ස්වර්ගයෙන් ය; (ඔහු ස්වර්ගීක ය),</verse>
				<verse number="48">භෞමික තැනැත්තා යම් සේ ද භෞමික වූවෝත් එසේ ම ය. ස්වර්ගීක තැනැත්තා යම් සේ ද, ස්වර්ගීක වූවෝත් එසේ ම ය.</verse>
				<verse number="49">අපි භෞමික තැනැත්තාගේ ස්වරූපය දරන්නා සේ ම, ස්වර්ගීක තැනැත්තාගේ ස්වරූපය ද දරන්නෙමු.</verse>
				<verse number="50">සහෝදරවරුනි, මා කියන්නේ මෙය යි. ලේ මස් සහිත සිරුරට ස්වර්ග රාජ්‍යය උරුම කරගත නොහැක. එසේ ම දිරා යන්නකට නොදිරන්නක් උරුම කරගත නොහැක.</verse>
				<verse number="51">මෙන්න, මම ඔබට අබිරහසක් පවසමි. අපි සියල්ලෝ ම නොමැරෙන්නෙමු. එහෙත් අන්තිම හොරණෑව පිඹින කල,</verse>
				<verse number="52">මොහොතකින්, ඇසිපිය හෙළන සැණෙකින්, අපි සියල්ලෝ ම වෙනස් කරනු ලබන්නෙමු. මන්ද, හොරණෑව පිඹිනු ලබයි. එකල මියගිය අය අජරාමර ස්වභාවයෙන් උත්ථාන කරනු ලබන්නාහ. අපි ද වෙනස් කරනු ලබන්නෙමු.</verse>
				<verse number="53">දිරන සුලු මේ සිරුර නොදිරන සුලු බවට පත් විය යුතු ය. මැරෙන සුලු මේ සිරුර අමරණීයත්වයට පත් විය යුතු ය.</verse>
				<verse number="54">දිරන සුලු මේ ස්වභාවය නොදිරන සුලු බවටත්, මැරෙන සුලු මේ ස්වභාවය අමරණීයත්වයටත් පැමිණි කල්හි “මරණය පැරදිණි; ජය අත්විණි”යි ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන වචන සම්පූර්ණ වේ.</verse>
				<verse number="55">
					“එම්බා මරණය, තාගේ ජය කොයි ද?
					එම්බා මරණය, තාගේ විෂ දළය කොයි ද?”
				</verse>
				<verse number="56">මරණයේ විෂ දළය පාපයයි. පාපයේ බලය ව්‍යවස්ථාවයි.</verse>
				<verse number="57">එහෙත් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන අපට ජය අත් කර දෙන දෙවියන් වහන්සේට ස්තුති වේ වා!</verse>
				<verse number="58">එහෙයින් මාගේ ප්‍රේමවන්ත සහෝදරවරුනි, සමිඳාණන් වහන්සේ තුළ ඔබගේ සේවය නිරර්ථක නොවන බව ඔබ දන්නා බැවින් ස්ථිර වන්න. නොසෙල් වී සිටින්න. සමිඳාණන් වහන්සේගේ සේවයෙහි අධික ලෙස නිරතවන්න.</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">දෙවියන් වහන්සේගේ සෙනඟ උදෙසා කරන සම්මාදම ගැන ගලාතියේ සභාවලට මා නියම කළ දෙය ම ඔබත් කරන්න.</verse>
				<verse number="2">සෑම සතියක ම පළමු වන දා ඔබෙන් එකිනෙකා උපයා ගත් මුදලින් කොටසක් ඉතිරි කරගෙන තමා ළඟ වෙන් කර තබාගනී වා. එවිට මා ආ කල සම්මාදමක් කිරීමට උවමනා නැත.</verse>
				<verse number="3">මා පැමිණි විට ඔබ දෙන පඬුර ජෙරුසලමට ගෙන යන පිණිස සුදුස්සන් යයි ඔබ අනුමත කරන තැනැත්තන් මගේ ලියුම් ඇතිව, එහි යවන්නෙමි.</verse>
				<verse number="4">ඒ ගමන යෑම සුදුසු යයි මටත් පෙනේ නම් ඔවුන් ද මා සමඟ යනු ඇත.</verse>
				<verse number="5">මසිදෝනිය මැදින් යන්නට මා අදහස් කරන බැවින්, එසේ ගිය පසු, මම ඔබ වෙත එන්නෙමි.</verse>
				<verse number="6">සමහරවිට ටික කලක්, නැත්නම් මුළු ශීත කාලය වුව ද, ඔබ සමඟ නවතින්නෙමි. එවිට මා කොහේ ගියත් මගේ ගමනට ඔබට ආධාර දිය හැකි ය.</verse>
				<verse number="7">සමිඳාණන් වහන්සේ අවසර දෙන සේක් නම් ඔබ සමඟ නතර වීමට බලාපොරොත්තු වෙන බැවින් දැන් යන ගමනේ දී ටිකකට ගොඩවැදී යන්න මා කැමැති නැත.</verse>
				<verse number="8">එහෙත් පෙන්තකොස්ත දිනය වන තුරු මම එපීසයෙහි නවතින්නෙමි.</verse>
				<verse number="9">ඉමහත් බලාපොරොත්තු සහිත දොරක් එහි විවෘත වී ඇත. එහෙත්, විරුද්ධවාදීහු බොහෝ දෙනෙක් ද සිටිති.</verse>
				<verse number="10">තිමෝතියස් පැමිණියහොත් ඔහුට කිසි බියක් නැති ව ඔබ අතර නැවතී සිටීමට ඉඩ සලසන්න. මන්ද, ඔහු මා වාගේ ම සමිඳාණන් වහන්සේගේ සේවකයෙකි.</verse>
				<verse number="11">එබැවින් කිසිවෙක් ඔහු හෙළා නොදකී වා. ඔහු මා වෙත එන පිණිස, ඔහුගේ ගමන සතුටු සිතින් යාමට කටයුතු කරන්න. මන්ද, මම සහෝදරයන් සමඟ ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටිමි.</verse>
				<verse number="12">අපොල්ලොස් ගැන කිව යුත්තේ සහෝදරයන් සමඟ ඔබ වෙත එන ලෙස ඔහුගෙන් මා උදක් ම ඉල්ලා සිටිය බවයි. එහෙත් දැන් ම ඒ ගමන යාම කිසිසේත් ඔහුගේ කැමැත්ත නො වී ය. අවස්ථාවක් පැමිණි විට ඔහු එනු ඇත.</verse>
				<verse number="13">සෝදිසියෙන් ඉන්න, ඇදහිල්ලෙහි ස්ථිර වන්න. වීරවන්ත ව සිටින්න. ශක්තිසම්පන්න වන්න.</verse>
				<verse number="14">ඔබ කරන හැම දෙයක් ම ප්‍රේමයෙන් කරන්න.</verse>
				<verse number="15">සහෝදරවරුනි, මම ඔබගෙන් ඉල්ලීමක් කරමි. ස්තේපනස්ගේ ගෘහවාසීන් ග්‍රීසියේ දී මුලින් ම හැරුණු අය බව ද ඔවුන් කිතුනු සේවයට සිය කැමැත්තෙන් කැප වූ බව ද ඔබ දන්නහු ය.</verse>
				<verse number="16">ඔවුන්ගේ ද ඔවුන් සමඟ සේවයට හවුල් වෙමින් දිරි දරන සියල්ලන්ගේ ද මූලිකත්වයෙන් කෙරෙන සේවයට ඔබ ද බැඳෙන්න.</verse>
				<verse number="17">ස්තේපනස්ගේ ද පොර්තුනාතුස්ගේ ද අකයිකස්ගේ ද පැමිණීම ගැන ප්‍රීතිවෙමි. ඔබ නැති පාඩුව ඔවුන්ගේ පැමිණීමෙන් පිරිමැසුණි.</verse>
				<verse number="18">එයින් මාගේ ද එසේ ම ඔබගේ ද සිතට සහනයක් ලැබිණි. මෙවැනි අය අගය කොට සලකන්න.</verse>
				<verse number="19">ආසියාවේ සභාවෝ ඔබට ආචාර කරති. අකිලා ද ප්‍රිස්කා ද, ඔවුන්ගේ නිවසේ රැස් වන සභාවත් සමඟ සමිඳාණන් වහන්සේ තුළ හිතවත් ලෙස ආචාර කරති.</verse>
				<verse number="20">සියලු සහෝදරයෝ ඔබට ආචාර කරති. සාම සිඹීමකින් එකිනෙකාට ඔබත් ආචාරය කරන්න.</verse>
				<verse number="21">පාවුලු වන මම මාගේ ම අත් අකුරින් ලියා ඔබට ආචාර කරමි.</verse>
				<verse number="22">යමෙක් සමිඳාණන් වහන්සේට ප්‍රේම නොකරන්නේ නම්, ඔහු සාප ලද්දෙක් වේ වා! ‘මරනථා’ - සමිඳාණන් වහන්ස, වැඩිය මැනව.</verse>
				<verse number="23">ජේසුස් ක්‍රිස්තුන් සමිඳාණන් වහන්සේගේ කරුණාව ඔබ සමඟ වේ වා!</verse>
				<verse number="24">මාගේ ප්‍රේමය, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඔබ සියල්ලන් සමඟ වේ වා! ආමෙන්.</verse>
			</chapter>
		</book>
		<book number="47">
			<chapter number="1">
				<verse number="1">දේව කැමැත්ත අනුව ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වන පාවුලුගෙන් ද සහෝදර තිමෝතියස්ගෙන් ද කොරින්තියේ පිහිටා ඇති දෙවියන් වහන්සේගේ සභාව වෙතටත්, ග්‍රීසිය පුරා සිටින දෙවියන් වහන්සේගේ සියලු සෙනඟ වෙතටත් ය.</verse>
				<verse number="2">අපගේ පියාණන් වන දෙවියන් වහන්සේගෙන් ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද කරුණාවත් ශාන්තියත් ඔබට වේ වා!</verse>
				<verse number="3">කරුණාවේ පියාණන් වූ ද, සකල සැනසීම දෙන දෙවියන් වූ ද, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා!</verse>
				<verse number="4">උන් වහන්සේ අපගේ සෑම පීඩාවල දී අප සනසන සේක. එසේ කරන්නේ දෙවියන් වහන්සේගෙන් අප ලබන සැනසීම කරණකොටගෙන සියලු ආකාර පීඩා විඳින්නන් සනසන්නට අපටත් හැකි වනු පිණිස ය.</verse>
				<verse number="5">ක්‍රිස්තුන් වහන්සේගේ අධිකතර වේදනාවලට යම් සේ අපි පංගුකාරයෝ වීමු ද, එසේම උන් වහන්සේගේ අධිකතර සැනසිල්ලටත් අපි පංගුකාරයෝ වෙමු.</verse>
				<verse number="6">අපි පීඩා විඳිමු නම් එය විඳින්නේ ඔබගේ සැනසීම හා ගැළවීම පිණිස ය. අපි සැනසීම ලබමු නම් එය ලබන්නේ ඔබත් අප මෙන් ඉවසීමෙන් දුක් විඳින විට, සැනසීම ලබන පිණිස ය.</verse>
				<verse number="7">ඔබ ගැන අපේ බලාපොරොත්තුව ස්ථීර ව පවතී. මන්ද, දුකට පංගුකාර ව සිටින ලෙස ම, ඔබ සැනසීමටත් පංගුකාරයන් වන බව අපි දනිමු.</verse>
				<verse number="8">සහෝදරවරුනි, ආසියාවේ දී අපට පැමිණි පීඩා ගැන ඔබට දන්වන්නට අපි කැමැත්තෙමු. ජීවිතය ගැන පවා බලාපොරොත්තු නැති වන තරමට ඉසිලිය නොහැකි දුක් බර අප පිට පැමිණියේ ය.</verse>
				<verse number="9">මරණ තීන්දුව ලැබුවාක් මෙන් අපට හැඟුණි. එසේ වූයේ, අප කෙරෙහි ම විශ්වාසය නොතබා, මළවුන් උත්ථාන කරන දෙවියන් වහන්සේ කෙරෙහි අපේ විශ්වාසය තබන පිණිස ය.</verse>
				<verse number="10">දෙවියන් වහන්සේ මෙබඳු භයංකර මරණයකින් අප මිදූ සේක. මතු ද අප මුදාලන සේක. අපි උන් වහන්සේ කෙරෙහි අපේ බලාපොරොත්තුව තබමු.</verse>
				<verse number="11">ඔබත් සහයෝගී ව, අප උදෙසා යාච්ඤා කළොත්, උන් වහන්සේ තවදුරටත් අප මුදාලන සේක. මෙලෙස දෙවියන් වහන්සේ අපට දුන් වරප්‍රසාදය ගැන බොහෝ දෙනෙකු උන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරනු ඇත.</verse>
				<verse number="12">අපගේ පාරට්ටුව මෙයයි. එනම්, ලෝකයා අතරත් විශේෂයෙන් ඔබ අතරත් අපගේ හැසිරීම, ලෞකික ප්‍රඥාවෙන් නොව දේව වරප්‍රසාදයෙන් ද දෙවියන් වහන්සේ දුන් ශුද්ධවන්තකමින් ද අවංකකමින් ද පාලනය වූ බවට අපගේ හෘදය සාක්ෂිය සහතික කරයි.</verse>
				<verse number="13">අප ඔබට ලියන්නේ කියවන්නටත් තේරුම්ගන්නටත් පුළුවන් දේ පමණ ය. දැනට ඔබ තේරුම්ගෙන තිබෙන්නේ අර්ධ වශයෙන් ය.</verse>
				<verse number="14">එහෙත් අප ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ විනිශ්චය දවසේ දී, අප ඔබ ගැන ආඩම්බර වන සේ ඔබටත් අප ගැන ආඩම්බර වීමට හැකි වන බව ඔබ මුළුමනින් ම තේරුම්ගනු ඇතැ යි මම බලාපොරොත්තු වෙමි.</verse>
				<verse number="15">මේ සියල්ල ගැන මට සහතිකයක් තිබුණු බැවින්, ඔබට දෙවරක් මා දැක ගැනීමේ වාසනාව ලබා දෙනු පිණිස මම පළමුවෙන් ඔබ වෙත ඒමට අදහස් කෙළෙමි.</verse>
				<verse number="16">මසිදෝනියට යන ගමනේ දී ද ආපසු එන විට ද ඔබ දැකබලාගැනීමට මම අදහස් කෙළෙමි. තවද ජුදයට මා යන ගමනේ දී ඔබගෙන් ආධාර ලබාගන්නට මම බලාපොරොත්තු වෙමි.</verse>
				<verse number="17">මා මෙසේ අදහස් කෙළේ, වගකීමක් නැති ව ද? මා තීරණ ගන්න විට, එසේ ගන්නේ, එක හුස්මෙන් ම, ‘ඔව්, ඔව්’, ‘නැහැ, නැහැ’ කියන ආත්මාර්ථකාමී චේතනාවෙන් ද?</verse>
				<verse number="18">සත්‍යවාදී දෙවියන් වහන්සේ විශ්වාසවන්ත සේ ම අපගේ වචනය ‘ඔව්’ ‘නැහැ’ කියා දෙගිඩියාවෙන් කියන්නක් නොවේ.</verse>
				<verse number="19">මන්ද, අප විසින් එනම්, සිල්වානස්, තිමෝතියස් හා මා විසින් ඔබ අතර දේශනා කළ දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ‘ඔව්’, ‘නැහැ’ කියා දෙගිඩියාවක් නැත. ඇත්තේ ‘ඔව්’ යන්න පමණකි.</verse>
				<verse number="20">දෙවියන් වහන්සේගේ සියලු ම පොරොන්දු ඉටු කිරීම පිළිබඳ ‘ඔව්’ යන්න ක්‍රිස්තුන් වහන්සේ වන සේක. දෙවියන් වහන්සේට ගරු බුහුමන් කරන පිණිස අප ක්‍රිස්තුන් වහන්සේ තුළින් ‘ආමෙන්’ කියන්නේ ඒ නිසා ය.</verse>
				<verse number="21">ක්‍රිස්තුන් වහන්සේ තුළ, ඔබ සමඟ අප ශක්තිමත් කරන්නේ දෙවියන් වහන්සේ ය. උන් වහන්සේ අප ආලේප කර,</verse>
				<verse number="22">උන් වහන්සේගේ මුද්‍රාව අප පිට තබා, අපගේ සිත් තුළ, අපට අත්තිකාරමක් වශයෙන් ශුද්ධාත්මයාණන් වහන්සේ දෙවා වදාළ සේක.</verse>
				<verse number="23">මා කොරින්තියට නාවේ ඔබට ඇති අනුකම්පාව නිසා බවට, හද පත්ලෙන් දිවුරමින්, දෙවියන් වහන්සේ මාගේ සාක්ෂිකරු වශයෙන් මම කැඳවමි.</verse>
				<verse number="24">ඔබ ඇදහිය යුතු දේ ගැන අපි ඔබට විධාන නොකරමු. ඔබගේ ප්‍රීතිය සඳහා අපි සහයෝගයෙන් ඔබ සමඟ සේවය කරමු. මන්ද, ඔබගේ ඇදහිල්ල ස්ථීර ය.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">ඔබට සිත් වේදනා නොදීම පිණිස, යළිත් ඔබ වෙත නොඒමට මා තීරණය කළේ එබැවිනි.</verse>
				<verse number="2">මා ඔබට සිත් වේදනා දුන්නොත්, මට සතුට දෙන්නට ඉන්නේ, මා සිත් වේදනාවට පත් කළ අය ම හැර, අන් කවරෙක් ද?</verse>
				<verse number="3">මා ඒ ලිපිය ලිව්වේ මේ කාරණාව නිසා ම ය. මා සතුටු කළ යුතු අය අතින් ම මා සිත් වේදනාවට පත් නොවන පිණිස, ඔබ වෙත ඒමට මම කැමැති නොවීමි. මා සතුටින් සිටින විට, ඔබත් සතුටින් සිටින බවට ඔබ ගැන මට පැහැදීමක් ඇත.</verse>
				<verse number="4">මහා දුකින් ද සිත් තැවුලින් ද කඳුළු සලමින් ද මා ඔබට ලිව්වේ, ඔබට සිත් වේදනා දීමට නොව ඔබට ඇති මාගේ ප්‍රේමය කෙතරම් අධික දැ යි ඔබ වටහාගන්නා පිණිස ය.</verse>
				<verse number="5">එහෙත් යමෙක් දුක් දී ඇත්නම් ඔහු දුක් දී ඇත්තේ මට නොව, තරමක්දුරට ඔබ හැමට ය. මෙසේ කීම අතිශයෝක්තියක් නොවේ යයි සිතමි.</verse>
				<verse number="6">ඔබෙන් වැඩිදෙනා ඒ තැනැත්තාට කර ඇති දඬුවම සෑහේ.</verse>
				<verse number="7">අනෙක් අතට ඒ තැනැත්තා ඔහුගේ අධිකතර ශෝකයෙහි ගිලී නොයන පිණිස ඔහුට කමා වීම හා ධෛර්ය දීම ඔබගේ නියම යුතුකම වේ.</verse>
				<verse number="8">එබැවින් ඔබ ඔහුට ප්‍රේම කරන බව සහතික කර දක්වන්න.</verse>
				<verse number="9">මා ඔබ වෙත ඒ ලිපිය ලිව්වේ සියලු කාරණාවල දී ඔබ මට කීකරු දැ යි, පරීක්ෂා කර දැනගන්නා පිණිස ය.</verse>
				<verse number="10">යම් කරුණක් නිසා යමෙකුට ඔබ කමා වන්නහු නම්, මම ද කමා වෙමි. මා එසේ කමා වී ඇත්නම්, කමා වී ඇත්තේ, ක්‍රිස්තුන් වහන්සේ අබිමුවෙහි ඔබ උදෙසා ය.</verse>
				<verse number="11">මා එසේ කෙළේ, අප සාතන්ගේ උපා දන්නා බැවින්, ඔහුගෙන් පරාජය වීමට ඉඩ නොතබන පිණිස ය.</verse>
				<verse number="12">තවද, ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න දේශනා කිරීමට මා ත්‍රෝවසට පැමිණි කල සමිඳාණන් වහන්සේගේ සේවයට දොරක් විවෘත වී තිබුණි.</verse>
				<verse number="13">එහෙත් මාගේ සහෝදර වූ තීතස් මට සම්බ නුවූ බැවින් මාගේ සිතට සහනයක් නුවූයෙන් ඔවුන්ගෙන් සමුගෙන මම මසිදෝනියට ගියෙමි.</verse>
				<verse number="14">තවද, කිතුනුවන් වූ අප නිතර ම ජය පෙරහරින් ගෙන යන, තමන් වහන්සේ පිළිබඳ දැනගැන්ම නමැති සුගන්ධය අප ලවා හැම තැන ම පතුරුවන, දෙවියන් වහන්සේට ස්තුති වේ වා!</verse>
				<verse number="15">අපි, ගැළවෙන්නන් හා විනාශ වෙන්නන් උදෙසා, දෙවියන් වහන්සේට ක්‍රිස්තුන් වහන්සේ පිදූ සුගන්ධය වෙමු.</verse>
				<verse number="16">විනාශ වන අයට එය මරණයට පමුණුවන මාරක දුර්ගන්ධයකි. ගැළවෙන අයට එය ජීවනයට පමුණුවන ජීවනදායක සුගන්ධයකි. මෙවැනි කාර්යයකට සමතා කවරෙක් ද?</verse>
				<verse number="17">බොහෝ දෙනෙකු කරන්නාක් මෙන් අපි, දෙවියන් වහන්සේගේ වචනය වංචනික ලෙස භාවිතා නොකොට, අවංක ව ද දෙවියන් වහන්සේගෙන් ලැබූ ලෙස ද උන් වහන්සේ ඉදිරියෙහි අපි ප්‍රකාශ කරමු.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">මෙසේ අපි, අප ගැන ම රෙකමදාරුවක් කරන්නට පටන් ගනිමු ද? නැත්නම් සමහරුන්ට වුවමනා වන සේ අපටත් ඔබට දීමට හෝ ඔබෙන් ලබාගැනීමට හෝ රෙකමදාරු ලිපි වුවමනා ද?</verse>
				<verse number="2">නැත. අපට ඇති රෙකමදාරු ලිපිය නම් ඔබ ම ය; එය අපේ සිත්වල ලියා ඇත. සියල්ලන්ට ම එය කියවා දැනගත හැකි ය.</verse>
				<verse number="3">ඔබ වනාහි අප විසින් එවන ලද ‘ක්‍රිස්තුන් වහන්සේගේ ලිපිය’ බව පැහැදිලි ය. එය ලියා ඇත්තේ තීන්තෙන් නොව, ජීවමාන දෙවියන් වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන ය. ගල් පුවරුවල නොව, මිනිස් සිත් නමැති පුවරුවල ය.</verse>
				<verse number="4">ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේ ඉදිරියෙහි අපට එවැනි සහතිකයක් ඇත.</verse>
				<verse number="5">එහෙත් මේ සියල්ල කිරීමේ හැකියාව අපගේ ම යයි කීමට පුළුවන්කමක් අපට නැත. අපගේ හැකියාව එන්නේ දෙවියන් වහන්සේගෙන් ය.</verse>
				<verse number="6">අලුත් ගිවිසුමේ සේවකයන් වීමේ හැකියාව දුන්නේ උන් වහන්සේ ය. ඒ ගිවිසුම ලිඛිත නීතියෙන් නොව ශුද්ධාත්මයාණන්ගෙනි. ලිඛිත නීතිය මරණය ගෙන දෙයි. ශුද්ධාත්මයාණෝ ජීවනය ගෙන දෙති.</verse>
				<verse number="7">අකුරින් අකුර ගලේ ලියා කොටන ලද ව්‍යවස්ථාව මරණය ඇති කළ නමුත්, එය ප්‍රදානය කරන ලද්දේ මහා තේජසිනි. ඒ තේජස පහ ව යන්නක් වූ නමුත්, එයින් උද්දීපනය වූ මෝසෙස්ගේ මුහුණ දෙස නෙත් යොමු කර බලා සිටීම ඉශ්රායෙල් සෙනඟට නොහැකි තරමට එය දීප්තිමත් විය.</verse>
				<verse number="8">එය එසේ නම්, ශුද්ධාත්මයාණන් ප්‍රදානය කිරීම කරණකොටගෙන ඇති වන තේජස ඊට වඩා කෙතරම් දීප්තිමත් වේ ද?</verse>
				<verse number="9">අප වරදට පත් කළ ව්‍යවස්ථාව ප්‍රදානය කිරීම තේජාන්විත වී නම්, අප දමිටු කරන ශුද්ධාත්මයාණන් වහන්සේ ප්‍රදානය කිරීම ඊටත් වඩා තේජාන්විත නොවේ ද?</verse>
				<verse number="10">කලින් තේජසින් පැමිණි දේ දැන් පහ ව ගොස් ඇත. ඒ තේජස පරදවන ඊට වඩා මහා තේජසක් දැන් පැමිණ තිබේ.</verse>
				<verse number="11">පහ ව යන දේ තේජාන්විත වී නම් සදහට ම පවතින දේ ඊටත් වඩා තේජාන්විත නොවේ ද?</verse>
				<verse number="12">මෙවැනි බලාපොරොත්තුවක් අපට ඇති බැවින් අපි නිර්භීත ව කතා කරමු.</verse>
				<verse number="13">පහ ව යන තේජස ඉශ්රායෙල් සෙනඟ නොදකින පිණිස මුහුණු වැස්මක් දමාගත් මෝසෙස්ට අපි සමාන නොවෙමු.</verse>
				<verse number="14">එහෙත් ඔවුන්ගේ සිත් දැඩි වී තිබිණි. මන්ද, අද දක්වා ම පුරාණ ගිවිසුමෙන් කියවන විට එම වැස්ම ඉවත් නොකොට පවතී. ඒ වැස්ම ඉවත් කරනු ලබන්නේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන පමණ ය.</verse>
				<verse number="15">සැබැවින් ම, අද දක්වා මෝසෙස්ගේ ව්‍යවස්ථාව කියවන විට, ඔවුන්ගේ සිත් වැස්මකින් ආවරණය වී ඇත.</verse>
				<verse number="16">එසේ වුවත් ශුද්ධ ලියවිල්ලේ කියා ඇති පරිදි, යමෙක් සමිඳාණන් වහන්සේ වෙත හැරුණු විට, වැස්ම ඉවත් කරනු ලැබේ.</verse>
				<verse number="17">ඒ සමිඳාණන් වහන්සේ ශුද්ධාත්මයාණෝ වන සේක. සමිඳාණන් වහන්සේගේ ආත්මයාණන් යම් තැනක ද, එතැන නිදහස ඇත.</verse>
				<verse number="18">අපි සියල්ලෝ, වැස්ම ඉවත ලූ මුහුණුවලින් සමිඳාණන් වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් පිළිබිඹු කරමු. මෙලෙස ආත්මයාණන් වන සමිඳාණන් වහන්සේගෙන් එන තේජස, අප උන් වහන්සේගේ සමානත්වයට වඩ වඩා තේජාන්විත ව පමුණුවනු ඇත.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">මේ සේවය දේව වරප්‍රසාදයෙන් අප පිට පවරා ඇති බැවින් අප අධෛර්ය නොවෙමු.</verse>
				<verse number="2">ලජ්ජා සහිත රහසිගත ක්‍රියා අපි අත් හළෙමු; කපටි කමින් අපි ජීවත් නොවෙමු; දෙවියන් වහන්සේගේ වචනය වෙනස් නොකර, අපි සත්‍යය එළිදරව් කරමු. එසේ කරමින්, දෙවියන් වහන්සේ ඉදිරියෙහි සියලු මනුෂ්‍යයන්ගේ හෘදය සාක්ෂියට අපි අප ම රෙකමදාරු කරගනිමු.</verse>
				<verse number="3">අපගේ සුබ අස්න සැඟවුණු දෙයක් නම්, එය සැඟවී ඇත්තේ විනාශ වෙන්නන්ට ය.</verse>
				<verse number="4">දෙවියන් වහන්සේගේ ස්වරූපය වන ක්‍රිස්තුන් වහන්සේගේ තේජාන්විත සුබ අස්නේ ප්‍රභාව නොපෙනෙන සේ මෙලොව දෙවියා නොඇදහිලිවන්තයන්ගේ සිත් අඳුරු කර ඇත.</verse>
				<verse number="5">මන්ද, අපි අප ගැන ම නොව, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ස්වාමීන් බවත්, ජේසුස් වහන්සේ උදෙසා අප ඔබගේ දාසයන් බවත් ප්‍රකාශ කරමු.</verse>
				<verse number="6">“අන්ධකාරයෙන් ආලෝකය නික්ම ඒවා”යි වදාළ එම දෙවියන් වහන්සේ ම, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මුහුණෙහි දෙවියන් වහන්සේගේ තේජස දැනගැන්ම නමැති ආලෝකය, අපගේ සිත් තුළ බැබළෙවූ සේක.</verse>
				<verse number="7">එහෙත් මේ අති ශ්‍රේෂ්ඨ බලය අපගෙන් නොව දෙවියන් වහන්සේගෙන් වන බව දක්වන පිණිස, අප මේ වස්තුව රැස් කර තැබූ මැටි බඳුන් හා සමාන ය.</verse>
				<verse number="8">අපි හැම අතින් ම මඩිනු ලැබුවත් කොටු වී නොසිටිමු. වියවුල් වුවත් බලාපොරොත්තු රහිත නොවෙමු;</verse>
				<verse number="9">ලුහුබඳිනු ලැබුවත් අතරමං නොවෙමු; පහර ලැබුවත් නොවැනසෙමු.</verse>
				<verse number="10">ජේසුස් වහන්සේගේ ජීවිතය අපේ ශරීරයෙන් ප්‍රකාශ වන පිණිස උන් වහන්සේ මරණයට භාජනය වූ ලෙස ම, අපිත් නිතර ම ශාරීරික වශයෙන් මරණයට භාජනය වෙමින් සිටිමු.</verse>
				<verse number="11">අපගේ මැරෙනසුලු ශරීරයේ ජේසුස් වහන්සේගේ ජීවනය ප්‍රකාශ වන පිණිස, අපි ජීවත් ව සිටිය දී නිතර ම මරණයට පාවා දෙනු ලැබ සිටිමු.</verse>
				<verse number="12">මෙලෙස අප කෙරෙහි බලපාන්නේ මරණයයි. ඔබ කෙරෙහි බලපාන්නේ ජීවනයයි.</verse>
				<verse number="13">තවද, “මම විශ්වාස කළ නිසා කතා කෙළෙමි”යි ශුද්ධ ලියවිල්ල කියයි. එම ඇදහිල්ල ඇති අපිත් විශ්වාස කරන නිසා කතා කරමු.</verse>
				<verse number="14">ස්වාමීන් වන ජේසුස් වහන්සේ උත්ථාන කළ දෙවියන් වහන්සේ, ජේසුස් වහන්සේ සමඟ අපත් උත්ථාන කරන බව ද, ඔබ සමඟ අපත් උන් වහන්සේ ඉදිරියට පමුණුවන බව ද අපි දනිමු.</verse>
				<verse number="15">මේ සියල්ල ඔබ උදෙසා සලසා ඇත්තේ දේව වරප්‍රසාදය බොහෝදෙනෙකු වෙත පැතිරී වැඩි වී යාමෙන් දෙවියන් වහන්සේගේ මහිමය සඳහා ස්තුති දීම ද අධික වන පිණිස ය.</verse>
				<verse number="16">එබැවින් අපි අධෛර්ය නොවෙමු. බාහිර වශයෙන් අප දිරාපත් වෙමින් සිටියත්, අභ්‍යන්තරික වශයෙන් අපි දිනෙන් දින ම අලුත් වෙමින් පවතිමු.</verse>
				<verse number="17">දැනට අප විඳින තාවකාලික සුළු දුක, එය මුළුමනින් ම ඉක්මවා යන සදාතන තේජස් සම්භාරයකට මඟ පාදයි.</verse>
				<verse number="18">මන්ද, අප නෙත් යොමුකර සිටින්නේ දෘශ්‍යමාන දේ දෙස නොව අදෘශ්‍යමාන දේ දෙස ය. දෘශ්‍යමාන දේ තාවකාලික ය; අදෘශ්‍යමාන දේ සදාතනික ය.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">කූඩාරමක් වන අපගේ භෞමික නිවාසය ගරා වැටුණත්, දෙවියන් වහන්සේගෙන් වන, අතින් නොතැනූ, සදාතන නිවාසයක් ස්වර්ගයෙහි අපට ඇති බව අපි දනිමු.</verse>
				<verse number="2">මෙහි දී අපි ස්වර්ගීක නිවාසයේ ආවරණය ලබාගැනීමේ දැඩි ආශාවෙන් සුසුම්ලමු.</verse>
				<verse number="3">මෙය ලබාගත් විට අපි ආවරණ රහිත ව නොසිටිමු.</verse>
				<verse number="4">කූඩාරමක් වැනි මේ ශරීරයෙහි සිටින තුරු, අපි දුක් බරින් සුසුම්ලමු. අපගේ ආශාව නම් ආවරණ රහිත ව සිටීම නොව, මැරෙනසුලු දේ ජීවනයට පරිවර්තනය වන පිණිස ආවරණ සහිත ව සිටීම ය.</verse>
				<verse number="5">මෙය සඳහා අප සූදානම් කළේ දෙවියන් වහන්සේ ම ය. එහි අත්තිකාරම වශයෙන් උන් වහන්සේ අපට ශුද්ධාත්මයාණන් ප්‍රදානය කළ සේක.</verse>
				<verse number="6">එබැවින් අපි සැම විට ම ධෛර්යයෙන් සිටිමු. ශරීරය නමැති නිවාසයෙහි සිටින තුරු, අපි සමිඳාණන් වහන්සේගෙන් ඈත් ව සිටින බව දනිමු.</verse>
				<verse number="7">අප ජීවත් වනුයේ දැකීමෙන් නොව, ඇදහීමෙන් ය.</verse>
				<verse number="8">අප ධෛර්යයෙන් සිටින බව නැවත කියමු. ශරීරය නමැති නිවාසයෙන් ඈත් වී සමිඳාණන් වහන්සේ තුළ විසීමට අපි වඩාත් කැමැති වෙමු.</verse>
				<verse number="9">ඒ නිසා අපි, එහි වේවා, මෙහි වේවා, කොයි නිවාසයෙහි සිටියත්, සමිඳාණන් වහන්සේ ප්‍රසන්න කිරීමට වඩාත් ආශා වෙමු.</verse>
				<verse number="10">මන්ද, අපි සියලුදෙනා ම තම තමාගේ ශාරීරික ජීවිතයේ දී කළ හොඳ නොහොඳ අනුව විපාක ලබන පිණිස, ක්‍රිස්තුන් වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි පෙනී සිටීමට නියම ව සිටිමු.</verse>
				<verse number="11">සමිඳාණන් වහන්සේ කෙරෙහි බිය වීම කුමක් දැ යි අප දන්නා බැවින් මිනිසුන්ට කරුණු පහදා දීමට අපි උත්සාහ කරමු. දෙවියන් වහන්සේට අපේ නියම ස්වභාවය පැහැදිලි ව පෙනේ. එලෙස ම ඔබටත් පෙනෙනු ඇතැ යි මම බලාපොරොත්තු වෙමි.</verse>
				<verse number="12">අප උත්සාහ කරන්නේ යළිත් අප ම ඔබට රෙකමදාරු කරගැනීමට නොව අප ගැන පාරට්ටු කිරීමට ඉඩ ප්‍රස්ථාවක් ඔබට සලසා දීමට ය. එවිට චරිතය අනුව නොව පෙනුම අනුව පාරට්ටු කරගන්නන්ට පිළිතුරු දීමට ඔබට හැකි වනු ඇත.</verse>
				<verse number="13">අපි සිහිවිකල වී සිටිමු නම්, එය දෙවියන් වහන්සේ උදෙසා ය. අපි සිහි බුද්ධියෙන් සිටිමු නම්, එය ඔබ උදෙසා ය.</verse>
				<verse number="14">සියල්ලන් උදෙසා එක් කෙනෙකු මළ නිසා, සියල්ලෝ ම මළහ යි අප නිගමනය කරන බැවින් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බොහෝ සෙයින් බලපායි.</verse>
				<verse number="15">උන් වහන්සේ දිවි පිදුවේ ජීවත් වන්නන් තවත් තමන් ම උදෙසා ජීවත් නොවී, ඔවුන් උදෙසා මැරී, උත්ථාන කරනු ලැබූ ක්‍රිස්තුන් වහන්සේ උදෙසා ජීවත් වන පිණිස ය.</verse>
				<verse number="16">මෙතැන් සිට අපි කිසිවෙකු ලෞකික මිම්මෙන් නොමනිමු. ලෞකික වශයෙන් අප ක්‍රිස්තුන් වහන්සේ දැන හැඳින සිටියත්, මෙතැන් සිට අපි උන් වහන්සේ එලෙස හඳුනා නොගනිමු.</verse>
				<verse number="17">එබැවින් යමෙක් ක්‍රිස්තුන් වහන්සේ තුළ සිටී නම්, එතැන ඇත්තේ නව මැවිල්ලකි. පැරණි දේ පහ ව ගොස් ඇත. දැන් සියල්ල ම අලුත් වී තිබේ.</verse>
				<verse number="18">සියල්ල පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන් ය. උන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන අප තමන් වහන්සේට සමඟි කරගෙන, සමඟි කිරීමේ සේවය අපට දුන් සේක.</verse>
				<verse number="19">එහි තේරුම නම්, මිනිසුන්ගේ පව් ඔවුනට විරුද්ධ ව ගණන් නොගෙන ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන, දෙවියන් වහන්සේ, ලෝකය තමන් වහන්සේට සමඟි කරගනිමින් සිටි බවත්, ඒ සමඟි කිරීමේ සේවය අපට භාර දුන් බවත් ය.</verse>
				<verse number="20">දෙවියන් වහන්සේ ම අප මඟින් ඔබ හට ආයාචනා කරන්නාක් මෙන්, අපි ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් තානාපතියන් වී, දෙවියන් වහන්සේ හා සමඟි වන ලෙස, ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් ඔබට ආයාචනා කරමු.</verse>
				<verse number="21">දෙවියන් වහන්සේ, පාපය නොදත් ක්‍රිස්තුන් වහන්සේ, අප උදෙසා මනුෂ්‍ය පාපී බව හා සම වීමට සැලැසූ සේක. එසේ කළේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට අප පංගුකාර වනු පිණිස ය.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">එබැවින් දේව සේවයේ පංගුකාරයන් වශයෙන් ඔබ ලබා ඇති දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය අපතේ නොහරින ලෙස අපි ඉල්ලා සිටිමු.</verse>
				<verse number="2">මන්ද, “ප්‍රසාදජනක කාලයේ දී මම ඔබට සවන් දුනිමි, ගැළවීමේ දවසේ දී මම ඔබට පිහිට වුණෙමි”යි දෙවියන් වහන්සේ වදාරන සේක. මෙය ප්‍රසාදජනක කාලය යි. මෙය ගැළවීමේ දවස යි.</verse>
				<verse number="3">අපේ සේවය දෝෂයට ලක් නොවන පිණිස කිසිවෙකුට අපගෙන් බාධා ඇති වීමට ඉඩ නොතබමු.</verse>
				<verse number="4">එසේ නොව, දුක් පීඩා ද අගහිඟකම් ද විපත්ති ද මහත් ඉවසීමකින් විඳදරා, අපි දෙවියන් වහන්සේගේ සේවකයන් වශයෙන් ඔබට ඒත්තුගන්වමු. අපි බොහෝ දේ විඳදරාගත්තෙමු.</verse>
				<verse number="5">පහර ලැබුවෙමු; සිරගත වීමු; අඩන්තේට්ටම් කරනු ලැබුවෙමු. විවේකයක් වත්, නින්දක් වත් කෑමක් වත් නැති ව සිටියෙමු.</verse>
				<verse number="6">පිරිසිදුකමින් ද දැනගැන්මෙන් ද ඉවසීමෙන් ද කරුණා ගුණයෙන් ද ශුද්ධාත්මයාණන්ගෙන් ද අවංක ප්‍රේමයෙන් ද සත්‍ය වචනයෙන් ද දේව බලයෙන් ද අපි දෙවියන් වහන්සේගේ සේවකයන් බව ඔබට ඒත්තුගන්වමු.</verse>
				<verse number="7">දකුණතින් හා වමතින් රැගත් දමිටුකම නමැති සන්නාහයෙන් ද සන්නද්ධ ව සිටියෙමු.</verse>
				<verse number="8">ගෞරවය හා අගෞරවය ද, කීර්තිය හා අපකීර්තිය ද ලැබීමු. වංචාකාරයන් මෙන් ගණන්ගැනුණත්, සත්‍යවාදීහු වීමු.</verse>
				<verse number="9">වැදගැන්මකට නැති අය මෙන් ගණන්ගැනුණත්, බොහෝ දෙනා පිළිගත් අය වීමු. මළා වූ අය මෙන් ගණන්ගැනුණත්, බලන්න, අපි ජීවත් ව සිටිමු. ලබන අය මෙන් ගණන්ගැනුණත් නොමැරී සිටිමු.</verse>
				<verse number="10">ශෝකවන්නන් මෙන් ගණන්ගැනුණත් නිතර ම ප්‍රීතියෙන් සිටිමු. දිළිඳුන් මෙන් ගණන්ගැනුණත්, බොහෝ දෙනෙකුන් ධනවතුන් කරමු. කිසිත් නැත්තන් මෙන් ගණන්ගැනුණත් සියල්ල ඇත්තන් වී සිටිමු.</verse>
				<verse number="11">කොරින්තිවරුනි, අපි අවංක සිතින් කිසිත් නොසඟවා ඔබට කතා කෙළෙමු.</verse>
				<verse number="12">ඔබ ගැන අපේ සිතේ වෙනසක් සිදු වී නැත. අප ගැන නම් ඔබේ සිතේ වෙනසක් සිදු වී ඇත.</verse>
				<verse number="13">එබැවින් අප කර ඇති සේ ම, ඔබේ සිත් ද පළල් ලෙස විවෘත කරන්න. අපේ සිතේ වෙනසක් සිදු වී නැතුවාක් මෙන් අප ගැන ද ඔබේ සිතේ වෙනසක් ඇති කර නොගන්න. දරුවන්ට පියෙකු කියන්නාක් මෙන් මම මෙය ඔබට කියමි.</verse>
				<verse number="14">නොඇදහිලිවතුන් සමඟ නොගැළපෙන සම්බන්ධකම්වලින් නොබැඳෙන්න. යුක්තියත් අයුක්තියත් අතර ඇති සම්බන්ධකම කුමක් ද? එළියත් අඳුරත් අතර ඇති එකමුතුකම කුමක් ද?</verse>
				<verse number="15">ක්‍රිස්තුන් වහන්සේ හා යක්ෂාධිපතියා හා අතර එකඟ වීමක් තිබිය හැකි ද? ඇදහිලිවන්තයෙකු හා නොඇදහිලිවන්තයෙකු හා අතර පොදුවේ යමක් ඇද් ද?</verse>
				<verse number="16">දේව මාලිගාව හා දේවතා පිළිම අතර සමානකමක් ඇද් ද? නැත. අපි ජීවමාන දෙවියන් වහන්සේගේ මන්දිර වෙමු. ඒ බව දෙවියන් වහන්සේ මෙසේ වදාළ සේක: “මම ඔවුන් සමඟ වාසය කරන්නෙමි, ගැවසෙන්නෙමි, මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වෙමි, ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය.”</verse>
				<verse number="17">
					එබැවින්:
					“ඔවුන් අතරෙන් නික්මවිත්, වෙන් වී සිටින්න. අපවිත්‍ර කිසිවක් ස්පර්ශ නොකරන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. “එවිට මම ඔබ පිළිගෙන,
				</verse>
				<verse number="18">ඔබට පියෙක් වන්නෙමි. ඔබ ද මට දූපුත්තු වන්නහු ය”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">ප්‍රේමවන්ත සහෝදරවරුනි, මෙවැනි පොරොන්දු අපට ඇති බැවින් සිත කය කෙලෙසන සියලු දෙයින් වැළකී අප ම පවිත්‍ර කරගනිමින් දේව ගරුබිය ඇති ව අපගේ ශුද්ධවන්තකම පරිපූර්ණ කරගනිමු.</verse>
				<verse number="2">ඔබගේ සිත අප වෙත විවෘත කරන්න. අපි කිසිවෙකුට අයුත්තක් නොකෙළෙමු; කිසිවෙකු විනාශයට පත් නොකෙළෙමු; කිසිවෙකුගෙන් අයුතු වාසියක් නොගතිමු.</verse>
				<verse number="3">මා එසේ කියන්නේ ඔබට වරද තබන අදහසින් නොවේ. මා කලින් කී පරිදි, මැරෙතත් ජීවත් වෙතත් අපි හිතවත්කමින් ඔබ හා එකට බැඳී සිටිමු.</verse>
				<verse number="4">ඔබ මට හොඳට ම විශ්වාස ය. ඔබ ගැන මම ආඩම්බර වෙමි. අපේ සියලු දුක්විපත්වල දී මම ධෛර්යයෙන් පිරී ප්‍රීතියෙන් පිනා යමි.</verse>
				<verse number="5">මසිදෝනියාවට සැපත් වූ විට පවා අපට කිසි සැනසිල්ලක් නො වී ය. හැම අතින් ම අපට කරදර ඇති විය. අප අවට කලකෝලාහල ද, අප සිත තුළ බියසැක ද තිබිණි.</verse>
				<verse number="6">එහෙත් කලකිරුණු අය ධෛර්යවත් කරවන දෙවියන් වහන්සේ තීතස්ගේ පැමිණීමෙන් ද,</verse>
				<verse number="7">ඔහුගේ පැමිණීමෙන් පමණක් නොව ඔබ අතර ඔහු ලැබූ ධෛර්යයෙන් ද අප ධෛර්යවත් කළ සේක. මා දැකීමට ඇති ඔබගේ මහත් ආශාව ද ඔබගේ කණගාටුව ද මට ඇති ඔබගේ පක්ෂපාතකම ද ගැන ඔහු අපට සැළ කළ විට මම වඩාත් ප්‍රීති වීමි.</verse>
				<verse number="8">මාගේ ලිපිය නිසා ඔබට සිත් වේදනාවක් ඇති වූ නමුත් ඒ ගැන කණගාටු නොවෙමි. ඒ ලිපිය නිසා ටික කලකට පමණක් සිත් වේදනාවක් ඔබට ඇති වූ බව මම දනිමි.</verse>
				<verse number="9">ඒ ගැන මා කලින් කණගාටු වූ නමුත් දැන් මම ප්‍රීති වෙමි. එසේ වන්නේ ඔබට සිත් වේදනාවක් ඇති වූ නිසා නොව, ඔබගේ සිත් වේදනාව පසුතැවී සිත් හරවා ගැනීමකට තුඩු දුන් නිසා ය. ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ඒ සිත් වේදනාව දැරූ නිසා, අපෙන් ඔබට කිසි විධියකින් හානියක් නො වී ය.</verse>
				<verse number="10">දේව කැමැත්ත අනුව සිත් වේදනාව දරාගැනීමෙන් සිත් හරවා ගැනීමේ පසුතැවිල්ලක් ඇති වී, එය ගැළවීමට මඟ පාදන බැවින් කණගාටු වීමට ඉඩක් නැත. එහෙත් ලෞකික පිළිවෙළ අනුව සිත් වේදනාව දරාගැනීම මරණය ගෙන දෙයි.</verse>
				<verse number="11">දේව කැමැත්ත අනුව ඒ සිත් වේදනාව දැරීමෙන් ඔබ තුළ ඇති වූ ප්‍රතිඵල ගැන සිතා බලන්න. එයින් කෙතරම් මහත් උනන්දුවක් හා නිදොස් කරගැනීමක් ඇති වී ද? ඒ හැර වරදට දඬුවම් දීම සඳහා ඇති වූ කෝපය, තැතිගැන්ම, සිත් වේදනාව හා උද්‍යෝගය කෙතරම් මහත් වී ද? මේ කරුණ පිළිබඳ ව ඔබ නිදොස් බව සියලු අයුරින් ඔප්පු කර ඇත.</verse>
				<verse number="12">මා ඔබට ලියා එවූ නමුත්, මා එසේ ලීවේ වරද කළ අය නිසා වත්, වරද වින්ද අය නිසා වත් නොව, අප කෙරෙහි ඇති ඔබගේ හිතවත්කම දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඔබට ප්‍රකාශ වන පිණිස ය.</verse>
				<verse number="13">අප එතරම් ධෛර්යවත් වූයේ ඒ නිසා ය. එසේ ධෛර්යවත් වීමේ දී අප වඩාත් ප්‍රීති වූයේ තීතස් දැක්වූ ප්‍රීතිය නිසා ය. මන්ද, ඔබ සියල්ලන්ගෙන් ඔහුට සහනය ලැබුණ නිසා ය.</verse>
				<verse number="14">ඔබ ගැන ඔහුට යම් පාරට්ටුවක් කෙළෙම් නම්, මම ඒ ගැන ලජ්ජා නොවීමි. එහෙත් ඔබට අප පැවසූ සියල්ල සැබෑ වූ සේ ම, තීතස්ට අප කළ ඒ පාරට්ටුවත් සැබෑ වී ඇත.</verse>
				<verse number="15">ඔබ සියල්ලන්ගේ කීකරුකමත් බියෙන් හා තැතිගැන්මෙන් යුතු ව ඔබ ඔහු පිළිගත්සැටිත් සිහි කරන විට ඔහුගේ සිත ඔබ වෙත ඉමහත් ප්‍රේමයෙන් ඇදී යයි.</verse>
				<verse number="16">සියල්ලෙහි දී ඔබ ගැන මට සම්පූර්ණ විශ්වාසය ඇති බැවින් මම ප්‍රීති වෙමි.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">සහෝදරවරුනි, මසිදෝනියාවේ සභාවන්ට දෙවියන් වහන්සේ දී ඇති වරප්‍රසාදය ගැන අපි ඔබට දන්වනු කැමැත්තෙමු.</verse>
				<verse number="2">එනම්, බොහෝ දුක් පීඩා මැද ඔවුන් පරීක්ෂා කරනු ලැබූ නමුත්, ඔවුන්ගේ ප්‍රීතිය කෙතරම් අධික වී ද යත්, ඉතා දිළිඳු වුව ද, ඔවුන්ගේ ත්‍යාගශීලීවන්තකමින් ඔවුන් පොහොසත් වූ බව ය.</verse>
				<verse number="3">ඔවුන් සිය කැමැත්තෙන් ම ඔවුන්ට හැකි පමණින් හා ඊටත් වැඩියෙන් දුන් බව මම සහතික කොට කියමි.</verse>
				<verse number="4">තවද, සැදැහැවතුන්ට උපස්ථාන කිරීමට පංගුකාර වීමේ වරප්‍රසාදය ඔව්හු අපගෙන් උදක් ම ඉල්ලා සිටියහ.</verse>
				<verse number="5">අප සිතූ පමණටත් වඩා, ඔව්හු මුලින් ම සමිඳාණන් වහන්සේටත්, එමෙන් ම දේව කැමැත්ත අනුව අපටත් භාර වූ හ.</verse>
				<verse number="6">එබැවින් තීතස්, මුලින් ම පටන්ගත් මේ සහනාධාර සේවය ඔබ අතරෙහි සම්පූර්ණ කරන ලෙස අපි ඔහුගෙන් උදක් ම ඉල්ලා සිටියෙමු.</verse>
				<verse number="7">ඇදහිල්ලෙන් ද කතාවෙන් ද දැනගැන්මෙන් ද උද්‍යෝගිමත්භාවයෙන් ද අප වෙත ඇති ඔබගේ ප්‍රේමයෙන් ද ඔබ පොහොසත් වී සිටින්නාක් මෙන් මේ සහනාධාර සේවයෙහි ද පොහොසත් වී සිටින්න.</verse>
				<verse number="8">මා මෙය කියන්නේ අණ දීමක් ලෙස නොව, අනෙකුත් අය ආධාර කිරීමට කෙතරම් උද්‍යෝගිමත් දැ යි මා ඔබට දැන්වීමෙන් ඔබගේ ප්‍රේමයේ සැබෑකම සෝදිසි කරන පිණිස ය.</verse>
				<verse number="9">අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ත්‍යාගශීලී කරුණාව ඔබ දන්නහු ය. උන් වහන්සේ ධනවත් ව සිටි නමුත්, තමන් වහන්සේගේ දිළිඳුකම කරණකොටගෙන ඔබ ධනවත් වන පිණිස ඔබ උදෙසා දිළිඳු වූ සේක.</verse>
				<verse number="10">මේ ගැන මාගේ අදහස මම ඔබට කියමි. ඔබ අවුරුද්දකට පෙර ආධාර දීමට කැමැති වී, එය ක්‍රියාවේ යෙදවීමට පුරෝගාමී වූවහු ය.</verse>
				<verse number="11">ඔබ පටන්ගත් ඒ දේ දැන් අවසාන කළ යුතු ය. එවකට ආධාර දීමට ඔබ උද්‍යෝගිමත් වූ ලෙස ම එය නිමකරන්නට ද උද්‍යෝගිමත් වන්න. ඒ සඳහා හැකි පමණට දෙන්න.</verse>
				<verse number="12">දීමට උද්‍යෝගිමත් බවක් ඇති නම් දෙවියන් වහන්සේ, යමෙකුගෙන් නැති දේ නොඉල්ලා, යමෙකුට ඇති පමණින් දෙන දීමනාව පිළිගන්නා සේක.</verse>
				<verse number="13">මෙයින් අදහස් කරන්නේ ඔබ අමාරුවේ වැටී අනුන්ට සහනය දීමක් නොව, සාධාරණකමක් ඇති වීමයි.</verse>
				<verse number="14">දැන් ඔබගේ වැඩිමනත්කමින් ඔවුන්ගේ අගහිඟකම පිරිමැසෙන්නාක් මෙන්, මතු ඔවුන්ගේ වැඩිමනත්කමින් ඔබගේ අගහිඟකම පිරිමැසෙනු ඇත. මෙලෙස දෙගොල්ල අතර සාධාරණකමක් ඇති වේ.</verse>
				<verse number="15">මෙසේ: “වැඩියෙන් ලැබූ තැනැත්තාට වැඩි වූයේ වත්, අඩුවෙන් ලැබූ තැනැත්තාට අඩු වූයේ වත් නැතැ”යි ශුද්ධ ලියවිල්ලේ ලියා තිබේ.</verse>
				<verse number="16">ඔබ ගැන අප දක්වන හිතවත්කම ම, තීතස්ට දැක්වූ දෙවියන් වහන්සේට ස්තුති වේ වා!</verse>
				<verse number="17">ඔහු අපගේ ඉල්ලීම පිළිගත්තා පමණක් නොව, සිය කැමැත්තෙන් ම ඔබ වෙත පැමිණීමට ලොකු උනන්දුවක් දැක්වී ය.</verse>
				<verse number="18">තවද ධර්මදූත සේවය පිළිබඳ ව සියලු සභාවලින් ප්‍රශංසාව ලබා ඇති සහෝදරයෙකු ද අපි ඔහු සමඟ එවමු.</verse>
				<verse number="19">එපමණක් නොව, සමිඳාණන් වහන්සේගේ මහිමය උදෙසා ද අපගේ උද්‍යෝගයේ සාක්ෂියක් වශයෙන් ද පුදන මේ දීමනාව අප සමඟ ගෙන යන පිණිස අපේ සහකාරයා වීමට සභාවන් මඟින් ඔහු පත් කර ඇත.</verse>
				<verse number="20">මේ නොමසුරු දීමනාව සම්බන්ධ ව ක්‍රියා කිරීමෙන් කිසිවෙකුගෙන් දෝෂාරෝපණයක් නොලැබීමට අපි පරෙස්සම් වෙමු.</verse>
				<verse number="21">සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පමණක් නොව, මිනිසුන් ඉදිරියෙහි ද අවංක ව ක්‍රියා කිරීම අපේ අරමුණ වේ.</verse>
				<verse number="22">තවද අපි ඔවුන් සමඟ තවත් සහෝදරයෙකු එවමු. නොයෙක් විට බොහෝ කාරණවල දී ඔහුගේ උද්‍යෝගය අපට ඔප්පු වී ඇත. ඔබ සම්බන්ධයෙන් ඇති ඔහුගේ විශ්වාසය නිසා, දැන් ඔහු වඩාත් උද්‍යෝගිමත් ව සිටියි.</verse>
				<verse number="23">තීතස් වනාහි ඔබ උදෙසා හවුල් සේවකයෙකු වන මාගේ සහකාරයා ය. සෙසු සහෝදරයෝ වනාහි ක්‍රිස්තුන් වහන්සේට ගෞරවයක් ව සිටින සභාවන්හි නියෝජිතයෝ ය.</verse>
				<verse number="24">සියලු සභාවන් ඉදිරියෙහි ඔබගේ ප්‍රේමය ගැන ද ඔබට ඇති අපගේ පාරට්ටුව ගැන ද ඔවුන්ට සාක්ෂි දක්වන්න.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">සැදැහැවතුන්ට ආධාර දීම ගැන ඔබට ලියා එවීම අවශ්‍ය නැත.</verse>
				<verse number="2">ඔබගේ උද්‍යෝගය ගැන මම දනිමි. ගිය අවුරුද්දේ සිට ම ග්‍රීසියේ වාසීන් වන ඔබ ආධාර දීමට සූදානම් ව සිටි බව කියමින් මසිදෝනියේ වැසියන්ට ඔබ ගැන පාරට්ටු කෙළෙමි. තවද ඔබගේ උද්‍යෝගය ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුන් උනන්දු කර ඇත.</verse>
				<verse number="3">ඔබ ගැන අප කළ පාරට්ටුව බොරුවක් නොවන පිණිස මම සහෝදරයන් එවමි. එසේ කරන්නේ ඔබ සූදානම් ව සිටිනවා යයි මා කී ලෙස ම ඔබ සූදානම් ව සිටින පිණිස ය.</verse>
				<verse number="4">නැත්නම්, යම් හෙයකින් මසිදෝනිවරුන් මා සමඟ පැමිණ ඔබ සූදානම් නැති බව දුටුවොත්, ඔබට කෙසේ වෙතත්, ඔබ කෙරේ මෙතරම් විශ්වාසයක් තැබූ අපට කෙතරම් ලජ්ජාවක් ද?</verse>
				<verse number="5">එබැවින්, ඔබ පොරොන්දු වී ඇති දීමනාව කල් තියා සූදානම් කරන පිණිස, මට පෙරටුව යන මෙන් සහෝදරයන්ගෙන් ඉල්ලීම අවශ්‍ය යයි සිතුවෙමි. එවිට, ඒ දීමනාව බල කිරීම නිසා දෙන දෙයක් නොව ත්‍යාගශීලී ව දෙන්නක් බව පැහැදිලි වනු ඇත.</verse>
				<verse number="6">මෙය සිතට ගන්න: අඩුවෙන් වපුරන්නා අඩුවෙන් කපා ගනියි; වැඩියෙන් වපුරන්නා, වැඩියෙන් කපා ගනියි.</verse>
				<verse number="7">එක් එක්කෙනා අකමැත්තෙන් වත් බලකිරීම නිසා වත් නොව, සිය කැමැත්තෙන් තීරණය කරගත් ලෙස දිය යුතු ය. සතුටු සිතින් දෙන්නාට දෙවියන් වහන්සේ ප්‍රේම කරන සේක.</verse>
				<verse number="8">සියල්ලෙහි දී ඔබ නිතර ම සියලු අයුරින් අනූන ව සිටින පිණිසත්, සියලු යහපත් සේවාවන්ට නොමසුරු ව ආධාර කළ හැකි වන පිණිසත් උවමනා පමණටත් වඩා අධික ලෙස ආශීර්වාද ඔබට දෙන්න දෙවියන් වහන්සේට පුළුවන.</verse>
				<verse number="9">මෙසේ, ශුද්ධ ලියවිල්ලෙහි: “උන් වහන්සේ දිළිඳුන්ට නොමසුරු ව දුන් සේක, උන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය”යි ලියා තිබේ.</verse>
				<verse number="10">වපුරන්නාට බීජ ද කෑමට ආහාර ද සපයා දෙන දෙවියන් වහන්සේ ඔබට බීජ සපයා දී, ඒවා වැඩෙන්න සලස්වා, ඔබගේ ත්‍යාගශීලීභාවයේ අස්වැන්න සරුසාර කරන සේක.</verse>
				<verse number="11">මෙලෙස ඔබ සියල්ලෙහි දී ත්‍යාගශීලී වන පිණිස දෙවියන් වහන්සේ ඔබ බහුල ලෙස ධනවත් කරන සේක. එවිට අප මඟින් කරන ලද මේ දේ නිසා දෙවියන් වහන්සේට තුති පැසසුම් ඇති වේ.</verse>
				<verse number="12">සැදැහැවතුන්ගේ මේ උපස්ථාන සේවාවෙන් අගහිඟකම පිරිමැසෙනවා පමණක් නොව දෙවියන් වහන්සේට බොහෝ ස්තුති දීම ද හටගන්නේ ය.</verse>
				<verse number="13">මේ සේවාවෙන්, ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න පිළිගෙන, එය පිළිපදින ආකාරය ද ඔවුන්ට හා අන් සියල්ලන්ටත් ඔබ දැක්වූ ත්‍යාගශීලීභාවය ද ඔප්පු වන බැවින් ඔව්හු දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරති.</verse>
				<verse number="14">තවද, දෙවියන් වහන්සේ ඔබට දක්වා ඇති මහා කරුණාව නිසා, ඔවුන් මහත් ළැදිකමකින් ඔබ උදෙසා යාච්ඤා කරනු ඇත.</verse>
				<verse number="15">දෙවියන් වහන්සේගේ කියා නිම කළ නොහැකි දීමනාව ගැන උන් වහන්සේට ප්‍රශංසා වේ වා!</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">ඉදිරිපිට සිටිය දී බියසුල්ලෙකැ යි ද ඈත්ව සිටිය දී එඩිතර කෙනෙකැ යි ද ඔබ කියන පාවුලු වන මම ක්‍රිස්තුන් වහන්සේගේ මුදුමොළොක් බව පෙරදැරි කොටගෙන ඔබගෙන් ඉල්ලීමක් කරමි.</verse>
				<verse number="2">අප ක්‍රියා කරන්නේ ලෞකික චේතනාවෙන් යයි කියන අයට විරුද්ධ ව එඩිතර ව ක්‍රියා කිරීමට මට ශක්තිය ඇති බැවින්, ඔබ වෙත පැමිණි විට, එලෙස එඩිතර ව ක්‍රියා කිරීමට මා නොපොළඹවන මෙන් ඔබගෙන් මම යටහත් ලෙස ඉල්ලමි.</verse>
				<verse number="3">අප ලෝකයේ ජීවත් වුව ද, අප සටන් කරන්නේ ලෞකික චේතනාවෙන් නොවේ.</verse>
				<verse number="4">අප සටනට ගන්නා අවිආයුධ ලෞකික ඒවා නොව, දෙවියන් වහන්සේගේ බලයෙන් බලකොටු බිඳ හෙළීමට තරම් බලසම්පන්න ඒවා ය.</verse>
				<verse number="5">බොරු තර්ක හා දෙවියන් වහන්සේ පිළිබඳ ව දැනගැන්මට විරුද්ධ ව නැඟුණු හැම උස් පවුරක් ම බිඳ හෙළමු. තවද, අපි සැම සිතුවිල්ලක් ම වහල් කොටගෙන, එය ක්‍රිස්තුන් වහන්සේ යටතේ කීකරුකමට පත් කරමු.</verse>
				<verse number="6">ඔබ සහමුලින් ම කීකරු වූ කල සියලු අකීකරුකම්වලට දඬුවම් දීමට අපි සූදානම් ව සිටිමු.</verse>
				<verse number="7">කරුණු ඇති සැටි සිතා බලන්න. යමෙක් තමා ක්‍රිස්තුන් වහන්සේට අයිති යයි සිතාගනී නම්, ඔහු මෙන් අපත් ක්‍රිස්තුන් වහන්සේට අයිති බව සිතට ගනීවා.</verse>
				<verse number="8">විනාශයට නොව ගොඩනැඟීම පිණිස සමිඳාණන් වහන්සේ මට දුන් ආධිපත්‍යය ගැන මම සමහර විට පමණට වඩා පාරට්ටු කරගත්තත්, ඒ ගැන ලජ්ජා නොවෙමි.</verse>
				<verse number="9">මාගේ ලියුම්වලින් ඔබ බියගැන්වීමට උත්සාහ කරනවා යයි නොසිතන්න.</verse>
				<verse number="10">‘ඔහුගේ ලියුම් හරබර ය. වේගවත් ය. එහෙත් ඔහු අප ළඟ සිටින විට, ඔහුගේ කිසි පෙනුමක් නැත, කතාවෙහි දක්ෂකමක් නැතැ’යි කෙනෙකු කියනු ඇත.</verse>
				<verse number="11">එහෙත්, අප ඈත් ව සිටින විට ලියන ලියුම් ද අප ඔබ සමඟ සිටින විට කරන දේ ද අතර වෙනසක් නැති බව එවැනි අය තේරුම් ගත යුතු යි.</verse>
				<verse number="12">තමන්ගේ ම ප්‍රසිද්ධිය ලැබීමට තැත් කරන අයගේ ගණයට ඇතුළු වීමට හෝ අප එවැන්නන් හා සසඳා ගැනීමට හෝ ඉදිරිපත් නොවෙමු. තමන්ගේ මිම්මෙන් තමන් මනින, සැසඳීමේ මිණුම් දණ්ඩ තමන් තුළ ම යයි සලකන අය අඥානයෝ ය.</verse>
				<verse number="13">එහෙත් සීමාව ඉක්මවා අපි අප ගැන ම පාරට්ටු කර නොගනිමු. දෙවියන් වහන්සේ ම අපේ සීමාව නියම කර ඇත. ඒ සීමාවට ඔබ ද ඇතුළත් ය.</verse>
				<verse number="14">අන් සියල්ලන්ට ම පෙර ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න රැගෙන ඔබ වෙත පැමිණි අය අපි වෙමු. එබැවින් ඔබ ගැන පාරට්ටු කරගැනීමෙන් අපි අපේ සීමාව ඉක්මවා නොයමු.</verse>
				<verse number="15">අපගේ නියම සීමාවෙන් පිට අනිකුත් අයගේ සේවාවන් ගැන අපි පාරට්ටු කර නොගනිමු. එහෙත් අපගේ සීමාව තුළ, ඔබගේ ඇදහිල්ල වර්ධනය වන විට, ඔබ අතර අපගේ සේවය බොහෝ සේ වර්ධනය වනු ඇතැ යි අපි බලාපොරොත්තු වෙමු.</verse>
				<verse number="16">එවිට, අන් කෙනෙකුගේ පෙදෙසක කළ සේවයක් ගැන පාරට්ටු කර නොගෙන, ඔබගෙන් ඈත පෙදෙස්වල ද, අපට සුබ අස්න දේශනා කළ හැකි ය.</verse>
				<verse number="17">“යමෙක් පාරට්ටු කිරීමට කැමැති නම්, සමිඳාණන් වහන්සේ ගැන පාරට්ටු කරාවා”යි ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇති පරිදි,</verse>
				<verse number="18">පිළිගත යුත්තේ ආත්ම ප්‍රශංසාව සොයන්නා නොව දේව ප්‍රශංසාව ලබන්නා ය.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">මාගේ සුළු අනුවණකමක් ගැන ඉවසන මෙන් ඉල්ලමි. ඔබ ඉවසන බවට මට සැකයක් නැත.</verse>
				<verse number="2">නිර්මල කන්‍යාවක වැනි ඔබ, ක්‍රිස්තුන් වහන්සේ වන එක ම ස්වාමියා හට සරණ පාවා දීම පිණිස මා ගිවිසුම් දුන් බැවින්, මම දිව්‍යමය හිතවත්කමකින් ඔබ ගැන හිතවත් වෙමි.</verse>
				<verse number="3">එහෙත් සර්පයා, සිය උපායෙන් ඒව රැවටුවාක් මෙන්, යම් විධියකින්, ඔබේ සිත් දූෂණය වී, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි පැවති ඔබේ අවංක බව හා නිර්මලතාව පිරිහෙනු ඇත්දැ යි මට භයක් ඇත.</verse>
				<verse number="4">යමෙක් ඔබ වෙත පැමිණ අප ප්‍රකාශ නොකළ වෙන ජේසුස් කෙනෙකුන් ප්‍රකාශ කරයි නම්, ඔබ කලින් නොලැබූ වෙනත් ආත්මයක් හා ඔබ නොපිළිගත් වෙන සුබ අස්නක් ඉදිරිපත් කරයි නම්, එවැන්නෙකු පිළිගැනීමට ඔබ සූදානම් ය. එය හරි කදිම යි!</verse>
				<verse number="5">එහෙත් ඔබ මහ ඉහළින් සලකන ඔය ප්‍රේරිතයන්ට වඩා මම කිසිසේත් පහත් යයි නොසිතමි.</verse>
				<verse number="6">මම කතාවෙහි අදක්ෂවූවත්, දැනඋගත්කමින් අදක්ෂ නොවෙමි. මේ බව හැම අවස්ථාවක දී, හැම අන්දමකින් ම ඔබට පැහැදිලි ලෙස දැක්වීමි.</verse>
				<verse number="7">ඔබ උසස් කරනු පිණිස මා පහත් වීමෙන් ද දෙවියන් වහන්සේගේ සුබ අස්න ඔබට නොමිලයේ දේශනා කිරීමෙන් ද මා කළේ වරදක් ද?</verse>
				<verse number="8">ඔබට සේවය කරන පිණිස, අන් සභාවලින් පැහැරගන්නා සේ ඔවුන්ගෙන් වැටුප් ගතිමි.</verse>
				<verse number="9">තවද, ඔබ අතර සිටිය දී, අගහිඟකම් ඇති වූ විට කිසිවෙකුට බරක් නොවීමි. මසිදෝනියාවෙන් ආ සහෝදරයෝ මාගේ අගහිඟකම් පිරිමැසූ හ. සියල්ලෙහි දී ඔබට බරක් නොවී සිටීමට ඉටාගතිමි. මතු ද එසේ කරන්නෙමි.</verse>
				<verse number="10">ග්‍රීසියේ පෙදෙස්වල මා මේ කරන පාරට්ටුව නිහඬ කිරීමට කිසිවෙකුට ඉඩ නොතබමි යි ක්‍රිස්තුන් වහන්සේගේ සත්‍යය මා තුළ ඇති සේ ම දිවුරා කියමි.</verse>
				<verse number="11">මෙසේ කියන්නේ මා ඔබට ප්‍රේම නොකරන නිසා ද? නැත. මා ඔබට ප්‍රේම කරන බව දෙවියන් වහන්සේ දන්නා සේක.</verse>
				<verse number="12">අප හා සම තත්ත්වයක් ඇතැ යි පාරට්ටු කරගැනීමට අවස්ථා සොයන අයට කිසි අවස්ථාවක් නොදීම පිණිස මා දැන් කරන දේ මතු ද කරගෙන යමි.</verse>
				<verse number="13">එබඳු අය ව්‍යාජ ප්‍රේරිතවරයෝ ය, ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේරිතවරයන් මෙන් වෙස් වළාගත් වංචනික සේවකයෝ ය.</verse>
				<verse number="14">එය පුදුමයක් නොවේ. සාතන් පවා ආලෝකයේ දූතයෙකු මෙන් වෙස් වළාගනියි.</verse>
				<verse number="15">ඒ නිසා ඔහුගේ සේවකයන් ද, දමිටුකමේ සේවකයන් මෙන් වෙස් වළාගැනීම පුදුමයක් නොවේ. ඔවුන්ගේ අවසානය ඔවුන්ගේ ක්‍රියා අනුව සිදු වේ.</verse>
				<verse number="16">මම අඥානයෙක් ය කියා කිසිවෙක් නොසිතිය යුතු යයි මම නැවතත් කියමි. ඔබ එලෙස සිතන්නහු නම් මට මඳක් පාරට්ටු කරගැන්මට හැකි වන සේ, අඥානයෙකු ලෙස වුව ද මා පිළිගන්න.</verse>
				<verse number="17">සැක නැති ව පාරට්ටු කරගැනීමේ දී මා කියන දේ, සමිඳාණන් වහන්සේගේ කැමැත්ත අනුව නොව අඥානකමකින් මෙන් පවසන්නකි.</verse>
				<verse number="18">බොහෝ දෙනෙකු ලෞකික ලෙස පාරට්ටු කරගන්නාක් මෙන්, මම ද පාරට්ටු කරගනිමි.</verse>
				<verse number="19">ඔබ ඥානවන්තයෝ ලූ! එහෙත් අඥානයන් පිළිගන්නහු ය.</verse>
				<verse number="20">යමෙකු ඔබ වහල්කොට ගත්තත්, ගසාකෑවත්, කොන්කළත්, හෙළා දැක්කත්, ඔබේ මුහුණට පහර දුන්නත් ඔබ ඉවසන්නහු ය.</verse>
				<verse number="21">මෙසේ කිරීමට තරම් මා දුර්වල වී නම් මම ලජ්ජා වෙමි. යමක් ගැන යමෙක් ආඩම්බර වේ නම්, මටත් එලෙස ආඩම්බර විය හැකි ය. මා එසේ කියන්නේ අඥානකමින් ය.</verse>
				<verse number="22">ඔව්හු හෙබ්‍රෙව්වරු ද? මමත් එසේ ම ය. ඔව්හු ඉශ්රායෙල්වරු ද? මමත් එසේ ම ය. ඔව්හු ආබ්‍රහම්ගේ පෙළපතින් පැවත එන්නෝ ද? මමත් එසේ ම ය.</verse>
				<verse number="23">ඔව්හු ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයෝ ද? මම ඊටත් වැඩියෙන් උන් වහන්සේගේ සේවකයෙක් වෙමි. මා එසේ කියන්නේ උමතු වූවෙකු මෙනි. ඔවුන්ට වඩා මම බොහෝ සේ වෙහෙසමහන්සි වූයෙමි. වඩා වාර ගණනක් මම සිරගත වූයෙමි. අප්‍රමාණ ව මම කස පහර ලදිමි. බොහෝ විට මරුමුවට පවා ළං වී සිටියෙමි.</verse>
				<verse number="24">ජුදෙව්වරුන්ගෙන් මම ‘තිස්නව-කස-පහර’ පස් වරක් ලදිමි.</verse>
				<verse number="25">තුන් වරක් මම වේවැල්වලින් තැළුම් කෑවෙමි. එක වරක් ගල් ගසනු ලැබීමි. තුන් වරක් නැව විනාශ වීමේ උවදුරට භාජන වීමි. මුළු රැයක් හා දවාලක් මම මුහුදේ සිටියෙමි.</verse>
				<verse number="26">මාගේ අනේක ගමන්වල දී, ගංගා උවදුරුවලට ද සොර උවදුරුවලට ද ස්වජාතික ජුදෙව්වරුන්ගෙන් පැමිණි උවදුරුවලට ද විජාතිකයන්ගෙන් පැමිණි උවදුරුවලට ද නගරවල උවදුරුවලට ද වනයෙහි උවදුරුවලට ද මුහුදේ උවදුරුවලට ද ව්‍යාජ සහෝදරයන්ගෙන් පැමිණෙන උවදුරුවලට ද භාජන වුණෙමි.</verse>
				<verse number="27">මහත් දුෂ්කරතා මැද මම වෙහෙස මහන්සි වී වැඩ කෙළෙමි. නොයෙක් විට නිදි නොලැබ සිටියෙමි; සාගින්නෙන් ද පිපාසයෙන් ද පෙළුණෙමි; බොහෝ විට ආහාර ද ඉඳුම්හිටුම් ද ඇඳුම්පැළඳුම් ද නැති ව සිටියෙමි.</verse>
				<verse number="28">මේ බාහිර දේ හැර, සියලු සභාවන් ගැන මාගේ සිතේ බරක් දිනපතා ම මට ඇත.</verse>
				<verse number="29">යමෙක් දුර්වල නම් ඒ දුර්වලකම මටත් නොදැනේ ද? යමෙක් පාපයට වැටුණොත් මම සංවේගයෙන් නොදැවෙම් ද?</verse>
				<verse number="30">පාරට්ටු කරගැනීම අවශ්‍ය ම නම්, මම මාගේ දුර්වලකම සම්බන්ධ කාරණ ගැන පාරට්ටු කරගන්නෙමි.</verse>
				<verse number="31">මා බොරු නොකියන බව, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වූ සදහට ම පැසසුම් ලබන දෙවියන් වහන්සේ දන්නා සේක.</verse>
				<verse number="32">මා දමස්කයේ සිටිය දී අරෙතස් රජු යටතේ සිටි ආණ්ඩුකාරයා මා අල්ලාගන්නා පිණිස දමස්කස් නගරය මුර කළ නමුත්,</verse>
				<verse number="33">මම, කූඩයක බහා, පවුරේ කපොල්ලකින් බස්වනු ලැබ ඔහු අතින් ගැළවී ගියෙමි.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">පාරට්ටු කරගැනීමෙන් වැඩක් නැති වුවත් මට එසේ නොකර ඉන්න බැරි ය. එහෙත් සමිඳාණන් වහන්සේගෙන් මා ලත් දර්ශන හා එළිදරව් කිරීම් ගැන කතා කරමි.</verse>
				<verse number="2">දසසතර වසරකට පෙර, තුන් වන ස්වර්ගය දක්වා ඔසවාගනු ලැබූ කිතුනුවෙකු මම දනිමි. එසේ වූයේ ශරීරයෙන් යුක්ත ව ද, නොහොත් ශරීරයෙන් වියුක්ත ව දැ යි මම නොදනිමි. දෙවියන් වහන්සේ දන්නා සේක.</verse>
				<verse number="3">ඒ මිනිසා පාරාදීසයට ඔසවාගනු ලැබ, මිනිස් මුවින් නොපැවසිය යුතු, නොපැවසිය හැකි වචන ඇසූ බව දනිමි.</verse>
				<verse number="4">එසේ වූයේ ශරීරය ඇති ව ද ශරීරය නැති ව දැ යි මම නොදනිමි. දෙවියන් වහන්සේ දන්නා සේක.</verse>
				<verse number="5">එබඳු මිනිසෙකු ගැන මම පාරට්ටු කරමි. එහෙත් මාගේ ම දුර්වලකම් ගැන මිස, මා ගැන ම පාරට්ටු කර නොගනිමි.</verse>
				<verse number="6">පාරට්ටු කරගන්න මා අදහස් කළත්, මා ඇත්ත පවසන නිසා එසේ කිරීම අනුවණ කමක් නොවේ. එහෙත්, මා කරන දේ දැකීමෙන් ද මා ගැන ඇසීමෙන් ද යමෙකුට ඇති වන අදහසට වඩා උසස් අදහසක් මා ගැන ඇති නොවන පිණිස මම එයින් වැළකෙමි.</verse>
				<verse number="7">ඒ එළිදරව් කිරීම්වල අති උතුම්කම කරණකොටගෙන, මා හිස උදුම්මා නොගන්නා පිණිස, මට පහර දීමට සාතන්ගේ දූතයෙකු වැනි, ශරීරයේ කාවැදුණු කටුවක් හා සමාන පීඩාවක් මට දෙන ලද්දේ ය. එසේ වූයේ මා හිස උදුම්මා නොගන්නා පිණිස ය.</verse>
				<verse number="8">එය ඉවත් කරන මෙන් තුන් වරක් මම සමිඳාණන් වහන්සේගෙන් ඉල්ලුවෙමි.</verse>
				<verse number="9">උන් වහන්සේ පිළිතුරු දෙමින්, “මාගේ බලය පරිපූර්ණ වන්නේ දුර්වලකමේ දී බැවින්, මාගේ වරප්‍රසාදය ඔබට සෑහේ”යයි වදාළ සේක. එබැවින් ක්‍රිස්තුන් වහන්සේගේ ශක්තිය මා කෙරෙහි පිහිටන පිණිස, මාගේ දුර්වලකම් ගැන ඉතා සන්තෝෂයෙන් පාරට්ටු කරන්නෙමි.</verse>
				<verse number="10">එහෙයින් ක්‍රිස්තුන් වහන්සේ උදෙසා පැමිණෙන දුර්වලකම් ද අන්තරා ද අගහිඟකම් ද පීඩා ද විපත්ති ද මම සතුටින් පිළිගනිමි. මක්නිසා ද යත්, දුර්වල ව සිටිය දී ම මම ශක්තිසම්පන්න ව සිටිමි.</verse>
				<verse number="11">මා අනුවණයෙකු මෙන් කතා කළ බව ඇත්ත ය. එයට වගකිව යුත්තේ ඔබ ම ය. ඔබ කළ යුතු ව තිබුණේ මා ගැන සාක්ෂි දැරීම ය. මා නිකමෙකු වුවත්, මම කිසිසේත් ඔය උත්කෘෂ්ට ප්‍රේරිතවරුන්ට දෙ වන තත්ත්වයේ නොවෙමි.</verse>
				<verse number="12">සැබැවින් ම ලකුණු ද අරුමපුදුම දේ ද ප්‍රබල ක්‍රියා ද ඔබ අතර නොපිරිහෙළා කිරීමෙන්, ප්‍රේරිතවරයෙකුගේ ගුණාංග මට ඇති බව දැක්වීමි.</verse>
				<verse number="13">මා ඔබට දැක්වූ සැලකිල්ල, අන් සභාවලට දැක්වූ සැලකිල්ලට වඩා කිසි ලෙසකින් අඩු වී ද? ඇති වූ එක ම අඩුව නම්, මා ඔබට බරක් නොවීම ය. ඒ වරද ගැන මට සමා වන්න.</verse>
				<verse number="14">මම දැන් තුන් වන වරටත් ඔබ වෙත එන්නට සූදානම් ව සිටිමි. එහෙත් මම ඔබට බරක් නොවෙමි. මට වුවමනා ව තිබෙන්නේ ඔබේ දේපළ නොව, ඔබ ම ය. එසේ කියන්නේ දරුවන් දෙමවුපියන් උදෙසා නොව, දෙමවුපියන් දරුවන් උදෙසා මුදල් ඉතිරි කළ යුතු බැවිනි.</verse>
				<verse number="15">ඔබ උදෙසා මට ඇති දේ වියදම් කරන්ටත්, මම මුළුමනින් ම වැය වෙන්ටත් ඉතා සතුටු වෙමි. මා ඔබට අධික ලෙස ප්‍රේම කරන බැවින් ඔබ මට අඩුවෙන් ප්‍රේම කරන්නහු ද?</verse>
				<verse number="16">මා ඔබට බරක් නුවූ බව ඔබ පිළිගන්නා අතර, මා කපටියෙකු බැවින් ප්‍රයෝගයෙන් ඔබ අල්ලාගත්තේ යයි යමෙකු කියනු ඇත.</verse>
				<verse number="17">මා ඔබ වෙත එවූ අයගෙන් යමෙකු ලවා ඔබගෙන් අයුතු වාසියක් ලබාගතිම් ද?</verse>
				<verse number="18">ඔබ වෙත යන ලෙස මා තීතස්ගෙන් උදක් ම ඉල්ලා ඔහු සමඟ ඒ සහෝදරයා එවීමි. තීතස් ඔබෙන් අයුතු වාසියක් ලබාගත්තේ ද? අපි එක ම ආත්මයාණන්ගෙන් මඟපෙන්වීම ලබා, එක ම මාර්ගයේ ගමන් නොකෙළෙමු ද?</verse>
				<verse number="19">මෙතෙක් කල් ඔබ ඉදිරියේ අපේ නිදොස් බව දැක්වීමට අපි තැත් කෙළෙමු යයි ඔබට සිතිය හැකි ය. එසේ නොවේ; අප කතා කරන්නේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි කිතුනුවන් මෙන් ය. ප්‍රේමවන්තයෙනි, මේ සියල්ල ඔබගේ අභිවෘද්ධිය උදෙසා ය.</verse>
				<verse number="20">ඔබ වෙත පැමිණි විට, මා සිතනවාට වඩා ඔබ වෙනස් වී ඇද්දෝ කියාත්, ඔබ සිතනවාට වඩා මා වෙනස් වී ඇද්දෝ කියාත් මට බියක් ඇත. යම් විධියකින් ආරාවුල්, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, කෙළාම්, ඕපාදූප, අහංකාරය හා අවුල්වියවුල් ආදිය ද, ඔබ අතර තිබේ දෝ යි මට බියක් තිබේ.</verse>
				<verse number="21">මා නැවත ආ කල, මාගේ දෙවියන් වහන්සේ ඔබ ඉදිරියේ මා පහත් කරනු ඇද්දැ යි කියා ද, පව්කොට, තමන් කළ අපිරිසිදුකම ද වේශ්‍යාකම ද සල්ලාලකම ද ගැන මෙතෙක් පසුතැවී සිත් හරවා නොගත් බොහෝ දෙනා ගැන මට වැලපෙන්නට වේ දෝ කියා ද බිය වෙමි.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">මා ඔබ වෙත එන තුන් වන වතාවයි මේ. “හැම පැමිණිල්ලක් ම සාක්ෂිකරුවන් දෙදෙනකුගේ හෝ තුන්දෙනකුගේ සාක්ෂිවලින් ස්ථීර විය යුතු ය”යි ලියා තිබේ.</verse>
				<verse number="2">මම නැවත ඔබ වෙත පැමිණියොත් මේ දක්වා පව් කළ අයටත්, අනෙක් සියල්ලන්ටත් සත්තකින් ම දඬුවම් කරන බව කියමි. ඒ බව දෙ වන වතාවේ දී ඔබ සමඟ සිටිය දී කල් තියා ඔබට කීවෙමි. දැන් ඔබෙන් ඈත් ව සිටියදීත් එසේ ම කල් තියා ඔබට කියමි.</verse>
				<verse number="3">එවිට මා තුළින් ක්‍රිස්තුන් වහන්සේ කතා කරන බවට ඔබ සොයන සාක්ෂිය ඔබට ලැබෙනු ඇත. ක්‍රිස්තුන් වහන්සේ ඔබ පිළිබඳ ව දුර්වල ලෙස නොව, බලවත් ලෙස ක්‍රියා කරන සේක.</verse>
				<verse number="4">උන් වහන්සේ දුර්වලකමින් කුරුසියෙහි ඇණ ගසනු ලැබූ නමුත්, දෙවියන් වහන්සේගේ බලයෙන් ජීවත්වන සේක. එසේ ම අපි ද උන් වහන්සේගේ දුර්වලකමට පංගුකාරයන් ව සිටින නමුත්, දෙවියන් වහන්සේගේ බලයෙන් උන් වහන්සේ සමඟ ඔබ උදෙසා ජීවත් වන්නෙමු.</verse>
				<verse number="5">ඔබ ඇදහිල්ලේ පවතින්නහු ද කියා ඔබ ම සෝදිසි කර බලන්න; විමසා බලන්න. ක්‍රිස්තුන් වහන්සේ ඔබ තුළ වැඩවසන බව ඔබ නොදන්නහු ද? නොදන්නහු නම් ඔබ පරාජිතයෝ වන්නහු ය.</verse>
				<verse number="6">එහෙත් අප පරාජිතයන් නොවන බව ඔබ දැනගනු ඇතැ යි මම බලාපොරොත්තු වෙමි.</verse>
				<verse number="7">ඔබ කිසි නපුරක් නොකරන ලෙස අපි දෙවියන් වහන්සේට යාච්ඤා කරමු. එසේ කරන්නේ අප ජයග්‍රාහකයන් මෙන් පෙන්නුම් කරන පිණිස නොව, අප පරාජිතයන් මෙන් පෙනුනත් ඔබ යුතු දේ කරන පිණිස ය.</verse>
				<verse number="8">සත්‍යයට පක්ෂ ව මිස සත්‍යයට විපක්ෂ ව කිසිවක් අපට කළ නොහැකි ය.</verse>
				<verse number="9">අප දුර්වල ව සිටිය දී ඔබ ශක්තිමත් ව සිටීම අපට ප්‍රීතියකි. තවද, ඔබගේ සම්පූර්ණත්වය සඳහා අපි යාච්ඤා කරමු.</verse>
				<verse number="10">මා ඔබෙන් ඈත් ව සිටිය දී, මේ කරුණු ඔබට ලියා එවන්නේ, මා ඔබ වෙතට පැමිණි විට, තදින් ක්‍රියා කිරීමට මාගේ අධිකාරි බලය යෙදීම වුවමනා නොවන පිණිස ය. සමිඳාණන් වහන්සේ මේ ආධිපත්‍යය මට දෙවා වදාළේ, බිඳ හෙළීමට නොව, ගොඩනැඟීමට ය.</verse>
				<verse number="11">ඉතින් සහෝදරවරුනි, ආයුබෝවන්. පරිපූර්ණත්වය සොයා යන්න; මාගේ අවවාද සිතට ගන්න; එක්සිත් වන්න; සාමදානයෙන් සිටින්න. එවිට ප්‍රේමාන්විත හා ශාන්තිදායක දෙවියන් වහන්සේ ඔබ සමඟ වැඩසිටින සේක.</verse>
				<verse number="12">සාම සිඹීමකින් එකිනෙකාට ආචාර කරන්න.</verse>
				<verse number="13">සියලු සැදැහැවත්හු ඔබට ආචාර කරති. ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කරුණාව ද දෙවියන් වහන්සේගේ ප්‍රේමය ද ශුද්ධාත්මයාණන් වහන්සේගේ සහභාගිකම ද ඔබ සියල්ලන් සමඟ වේ වා!</verse>
			</chapter>
		</book>
		<book number="48">
			<chapter number="1">
				<verse number="1">මිනිසුන් කෙරෙන් වත්, මිනිසෙකු මඟින් වත් නොව, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් හා උන් වහන්සේ උත්ථාන කොට වදාළ දෙවි පියාණන් වහන්සේගෙන් ප්‍රේරිතවරයෙකු වීමේ කැඳවීම ලත් පාවුලු නම් මම මෙසේ ලියා එවමි.</verse>
				<verse number="2">මා සමඟ සිටින සියලු සහෝදරවරු ද මම ද ගලාතියේ සියලු ක්‍රිස්තියානි සභාවන්ට ආචාර කරමු.</verse>
				<verse number="3">අපගේ පියාණන් වන දෙවියන් වහන්සේ ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ද ඔබට කරුණාව හා ශාන්තිය දෙන සේක් වා!</verse>
				<verse number="4">ක්‍රිස්තුන් වහන්සේ, අපගේ දෙවි පියාණන්ගේ කැමැත්ත ලෙස, මේ නපුරු යුගයෙන් අප ගළවන පිණිස, අපේ පව් උදෙසා සිය දිවි පිදූ සේක.</verse>
				<verse number="5">දෙවියන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්.</verse>
				<verse number="6">මෙපමණ විගසින්, ක්‍රිස්තුන් වහන්සේගේ දේව වරප්‍රසාදය කරණකොටගෙන ඔබ කැඳවා වදාළ තැනැන් වහන්සේ අත්හැර, ඔබ වෙනත් සුබ අස්නක් කරා යාම ගැන මට පුදුමයි.</verse>
				<verse number="7">වෙන සුබ අස්නක් නම් නැත. එහෙත් මා එසේ කියන්නේ ඔබ කළඹා ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න අවුල් කරන ඇතැමුන් සිටින නිසා ය.</verse>
				<verse number="8">එහෙත් මා හෝ ස්වර්ගයෙන් දේව දූතයෙක් හෝ වෙන කිසිවෙක් හෝ අප දේශනා කළ සුබ අස්නට පටහැනි සුබ අස්නක් දේශනා කළේ නම් ඔහුට සාප වේ වා.</verse>
				<verse number="9">අප පෙර කී ලෙස ම, දැන් මම නැවතත් කියමි: ඔබ පිළිගත් සුබ අස්නට පටහැනි සුබ අස්නක් ඔබට දේශනා කරන කෙනෙක් ඇත්නම් ඔහුට සාප වේ වා.</verse>
				<verse number="10">මා සොයන්නේ මිනිසුන්ගේ පැසසීම ද? නැතහොත් දෙවියන් වහන්සේ පැසසීම ද? මා පතන්නේ මිනිසුන් සතුටු කරන්න ද? මා තවමත් පතන්නේ මිනිසුන් සතුටු කිරීම නම් මම ක්‍රිස්තුන් වහන්සේගේ දාසයෙක් නොවෙමි.</verse>
				<verse number="11">සහෝදරවරුනි, මා දේශනා කරන සුබ අස්න මිනිසුන් විසින් නිපදවන ලද්දක් නොවන බව මම ඔබට දන්වමි.</verse>
				<verse number="12">මම එය කිසි මිනිසෙකුගෙන් නොලැබුවෙමි. කිසිවෙකු මට එය ඉගැන්නුවේත් නැත. එය මට හෙළි කළේ ක්‍රිස්තුන් වහන්සේ ම ය.</verse>
				<verse number="13">මා ජුදෙව් භක්තිකයෙකු ව සිටිය දී, කිසි අනුකම්පාවක් නැති ව දෙවියන් වහන්සේගේ සභාවට පීඩා කොට, එය විනාශ කරදැමීමට වෑයම් කරමින් හැසුරුණු අන්දම ගැන ඔබ අසා ඇත.</verse>
				<verse number="14">මාගේ පියවරුන්ගේ පරම්පරාගත සම්ප්‍රදායයන් කෙරෙහි උද්‍යෝගිමත් ව, මාගේ ජාතියේ සමකාලීනයන් බොහෝ දෙනෙකු පරදවා, ජුදෙව් ආගම මැනැවින් පිළිපැද්දෙමි.</verse>
				<verse number="15">එහෙත් දෙවියන් වහන්සේ ස්වකීය වරප්‍රසාදයෙන් මව් කුස පටන් මා වෙන් කොට තෝරාගෙන,</verse>
				<verse number="16">විජාතීන් අතර ස්වකීය පුත්‍රයාණන් ප්‍රකාශ කරන පිණිස ඒ පුත්‍රයාණන් මට එළිදරව් කිරීමට තීරණය කළ සේක. එවිට අවවාද ලබන පිණිස මා කිසි පුද්ගලයෙකු වෙත ගියේ වත්,</verse>
				<verse number="17">මට කලින් ප්‍රේරිතවරයන් ව සිටි අය හමු වන පිණිස ජෙරුසලමට ගියේ වත් නැත. එසේ නොව, මම වහා ම අරාබියට ගොස්, පසුව දමස්කයට පැමිණියෙමි.</verse>
				<verse number="18">පේදුරු හමු වීමට මා ජෙරුසලමට ගියේ තෙවසකට පසුව ය. ඔහු සමඟ පසළොස් දිනක් ගත කෙළෙමි.</verse>
				<verse number="19">එහෙත් ස්වාමීන් වහන්සේගේ සොහොයුරු ජාකොබ් හැර වෙන කිසි ප්‍රේරිතවරයකු නුදුටුවෙමි.</verse>
				<verse number="20">මේ ලියන දේ සැබෑ බව දෙවියන් වහන්සේ ඉදිරියේ සහතික කර කියමි.</verse>
				<verse number="21">පසුව මම සිරියාවේ හා සිලිසියාවේ පෙදෙස් වලට ගියෙමි.</verse>
				<verse number="22">ජුදයේ කිතුනු සභා ඒ තාක් මා දැනහැඳින සිටියේ නැත.</verse>
				<verse number="23">ඔවුන් දැන සිටියේ, “වරක් අපට පීඩා කළ තැනැත්තා, තමා විනාශ කිරීමට තැත් කළ එම ඇදහිල්ල ම දැන් දේශනා කරන්නේ ය” යන ප්‍රවෘත්තිය පමණකි.</verse>
				<verse number="24">ඒ නිසා ඔව්හු මා ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා කළෝ ය.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">අවුරුදු දහ හතරකට පසු මම බාර්ණබස් සමඟ තීතස් ද කැඳවාගෙන නැවත ජෙරුසලමට ගියෙමි.</verse>
				<verse number="2">මා එසේ ගියේ, මට දේව මඟ පෙන්වීමක් ලැබුණු බැවිනි. මා විජාතීන්ට දේශනා කළ සුබ අස්න එහි සිටි ප්‍රධානීන් ඉදිරියෙහි රහසිගත ව තැබීමි. එසේ කළේ මා පෙර කළ, දැන් කරන, සේවය නිෂ්ප්‍රභ නොවන පිණිස ය.</verse>
				<verse number="3">මාගේ සහකාර තීතස්, ග්‍රීකයෙකු වුව ද, ඔහු චර්මඡේදනය කිරීමට බල නොකරන ලදී.</verse>
				<verse number="4">මේ ප්‍රශ්නය මතු වූයේ කිතුනු සහභාගිකම තුළ අප භුක්ති විඳින නිදහස ගැන ඔත්තු බලන්න අප අතරට රිංගාගත් ව්‍යාජ ක්‍රිස්තියානීන් නිසා ය. මොවුන් අප වහල් කරගැනීමට තැත් කළ නමුත්</verse>
				<verse number="5">සුබ අස්නේ සත්‍යතාව ඔබ උදෙසා පවිත්‍ර ව තබාගන්නා පිණිස, මොහොතක් වත් අපි ඔවුන්ට යටත් නොවීමු.</verse>
				<verse number="6">ප්‍රධානීන් යයි සිතූ ඒ අයගෙන් අමුතු අදහසක් ලැබුණේ නැත. ඔවුන්ගේ වැදගත්කම ගැන මට කමක් නැත. දෙවියන් වහන්සේ කිසි ම පුද්ගලයෙකුගේ තරාතිරම් නොබලන සේක.</verse>
				<verse number="7">අනෙක් අතට, චර්මඡේදනය ලත් අයට සුබ අස්න දේශනා කිරීම පේදුරුට භාරවූවාක් මෙන්, චර්මඡේදනය නොලත් අයට එය දේශනා කිරීම මට භාර කරන ලද බව ඔව්හු පිළිගත්හ.</verse>
				<verse number="8">චර්මඡේදනය ලත් අයගේ ප්‍රේරිතයා වශයෙන් පේදුරු පත් කළ තැනැන් වහන්සේ ම විජාතීන්ගේ ප්‍රේරිතයා ලෙස මා පත් කළ සේක.</verse>
				<verse number="9">මේ සේවය මට භාර දුන් බව පිළිගත් සභා නායකයන් වන ජාකොබ්, පේදුරු සහ ජොහන් අතට අත දී බාර්ණබස් ද මා ද පංගුකාරකමට පිළිගෙන, විජාතීන් වෙත අප ද ජුදෙව්වන් වෙත ඔවුන් ද යා යුතු යයි තීරණය කළහ.</verse>
				<verse number="10">ඔවුන් අපෙන් කළ එක ම ඉල්ලීම නම් දිළිඳුන් සිහි කරන ලෙස ය. මා කරන්න ආශාවෙන් සිටියේත් එය ම ය.</verse>
				<verse number="11">පේදුරු අන්තියෝකියට ආ විට ඔහු වරදක් කර තිබුණ බැවින් මම එළිපිට ම ඔහුට විරුද්ධ වීමි.</verse>
				<verse number="12">ඒ වරද නම්, ඇතැම් අය ජාකොබ් වෙතින් එන්න ප්‍රථම ඔහු විජාතීන් සමඟ ආහාර වැළඳූ නමුත්, ඔවුන් පැමිණියාට පසු චර්මඡේදනවාදීන්ට භය ව, පසුබැස, වෙන් ව සිටීම යි.</verse>
				<verse number="13">ඔහු සමඟ අනෙක් ජුදෙව්වරු ද චපල ලෙස ක්‍රියා කළහ. බාර්ණබස් පවා ඔවුන්ගේ චපලකමින් මුළාවිය.</verse>
				<verse number="14">එහෙත් ඔවුන්ගේ හැසිරීම සුබ අස්නේ සත්‍යයට පටහැනි බව දුටු මම මුළු සමූහයා ඉදිරියේ පේදුරුට මෙසේ කීවෙමි. “ඔබ ජුදෙව්වරයෙකු වන නමුත්, ජුදෙව්වරයෙකු සේ නොව, විජාතිකයෙකු සේ ජීවත් වූවෙහි ය. එසේ නම් විජාතීන් ජුදෙව්වරුන් සේ ජීවත් විය යුතු යයි ඔබ ඔවුන්ට බල කරන්නේ කෙසේ ද?”</verse>
				<verse number="15">අපි විජාතික පව්කාරයෝ නොව, උත්පත්තියෙන් ම ජුදෙව්වරු ය.</verse>
				<verse number="16">එහෙත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් මිස ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් මනුෂ්‍යයෙකු දමිටු කරනු නොලබන බව අපි දනිමු. ඒ නිසා ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් නොව, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් දමිටු කරනු ලබන පිණිස, ක්‍රිස්තුන් වහන්සේ අදහාගතිමු. මන්ද, ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කවර මනුෂ්‍යයෙක් වත් දමිටුකරනු නොලබයි.</verse>
				<verse number="17">ක්‍රිස්තුන් වහන්සේ මඟින් දමිටුකම සොයන අපි විජාතීන් මෙන් පව් කරන්නන් හැටියට ගණන්ගැනෙමු නම්, ක්‍රිස්තුන් වහන්සේ පාපයට අනුබල දෙන සේකැ යි කිව හැකි ද? කොහෙත් ම නැත.</verse>
				<verse number="18">මා බිඳ හෙළූ දේ ම මම නැවත ගොඩනඟන්නෙම් නම්, මා ව්‍යවස්ථාව කඩ කරන්නෙකු බව මා අතින් ම ඔප්පු වේ.</verse>
				<verse number="19">ඇරත් දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වන පිණිස මම ව්‍යවස්ථාවට කීකරු වන අතර ව්‍යවස්ථාව මළ දෙයක් ලෙස සලකා එය ප්‍රතික්ෂේප කෙළෙමි.</verse>
				<verse number="20">මම ක්‍රිස්තුන් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබ සිටිමි; ඉතින් දැන් ජීවත් වන්නේ මා නොවේ; ක්‍රිස්තුන් වහන්සේ මා තුළ ජීවත් වන සේක. තවද මා දැන් මාංසයෙහි ජීවත් වන ජීවිතය මට ප්‍රේම කළ මා උදෙසා සිය දිවි දුන්, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වෙමි.</verse>
				<verse number="21">දෙවියන් වහන්සේගේ කරුණාව නිෂ්ප්‍රභ නොකරමි. මන්ද, ව්‍යවස්ථාව මඟින් දමිටු බව ඇතිකර ගත හැකි නම් ක්‍රිස්තුන් වහන්සේගේ මරණයේ තේරුමක් නැත.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">අඥාන ගලාතිවරුනි, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසියෙහි ඇණ ගසන ලද වග ඔබගේ ඇස් ඉදිරියෙහි ප්‍රසිද්ධ ලෙස දක්වනු ලැබූ නමුත් ඔබ ඇස් බැන්දුමකින් මුළා කළෝ කවරහු ද?</verse>
				<verse number="2">ඔබෙන් මෙය පමණක් දැනගනු කැමැත්තෙමි. ඔබ ආත්මයාණන් වහන්සේ ලැබුවේ ව්‍යවස්ථාවේ ක්‍රියා කරණකොටගෙන ද? නැතහොත් සුබ අස්නේ පණිවුඩය පිළිගැනීමෙන් ද?</verse>
				<verse number="3">ඇත්තට ම ඔබ ඔය තරම් මෝඩ ද? ඔබ දේවාත්මානුභාවයෙන් පටන්ගෙන, පිටස්තර, චාරිත්‍රයකින් ගැළවීම ලබන්න සිතන්නහු ද?</verse>
				<verse number="4">ඔබට ඇති වූ සියලු අත්දැකීම් නිෂ්ඵල වී ගියේ ද? එසේ නොවිය හැකි ය.</verse>
				<verse number="5">දෙවියන් වහන්සේ ආත්මයාණන් එවා, ඔබ අතර හාස්කම් කරන්නේ ඔබ ව්‍යවස්ථාව පිළිපදින නිසා ද, නැත්නම් සුබ අස්නේ පණිවුඩය අසා එය අදහන නිසා ද?</verse>
				<verse number="6">ආබ්‍රහම් ගැන සිතන්න. ඔහු දෙවියන් වහන්සේ අදහාගත්තේ ය. ඒ ඇදහීම දමිටු බව හැටියට ගණන්ගන්නා ලදී.</verse>
				<verse number="7">එබැවින් ආබ්‍රහම්ගේ සැබෑ පුත්‍රයෝ ඇදහිල්ල ඇති අය වෙති.</verse>
				<verse number="8">තවද දෙවියන් වහන්සේ ඇදහිල්ල කරණකොටගෙන විජාතීන් දමිටු බවට පත් කරන බව ශුද්ධ ලියවිල්ල කල්මත්තෙන් දැක, “ඔබ තුළ සියලු ම ජාතීහු ආශීර්වාද ලබන්නෝ ය” කියා සුබ අස්න කලින් ආබ්‍රහම්ට ප්‍රකාශ කළේ ය.</verse>
				<verse number="9">මෙසේ ඇදහිල්ලෙහි පිහිටි සියල්ලෝ ඇදහිල්ලේ පිහිටි ආබ්‍රහම් සමඟ ආශීර්වාද ලබති.</verse>
				<verse number="10">අනෙක් අතට, ව්‍යවස්ථාව කෙරෙහි විශ්වාසය තබන්නෝ සාපයට යටත් ව සිටිති. එසේ වන්නේ: “ව්‍යවස්ථාව පොතෙහි ලියා ඇති සියල්ල ම නොකඩවා නොරකින සියලු දෙනාට ම සාපයක් ඇතැ”යි ලියා තිබෙන බැවිනි.</verse>
				<verse number="11">ව්‍යවස්ථාව කරණකොටගෙන කිසිවෙකු දමිටු බවට පත් කරනු නොලබන බව එයින් පැහැදිලි ය. මන්ද, ඇදහිල්ලෙන් දමිටු බවට පැමිණි අය ජීවත් වන්නෝ ය.</verse>
				<verse number="12">ව්‍යවස්ථාව ඇදහිල්ල පිට රඳා පවතින්නක් නොවේ. එහෙත් ව්‍යවස්ථාව පිළිපදින තැනැත්තා එයින් ජීවත් වන්නේ ය කියා ශුද්ධ ලියවිල්ලේ ලියා ඇත.</verse>
				<verse number="13">“ගසක එල්ලනු ලබන සියල්ලෝ සාප ලද්දෝ ය”යි ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන ලෙස, ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා එම සාපය විඳ, ව්‍යවස්ථාවේ සාපයෙන් අප මුදාගත් සේක.</verse>
				<verse number="14">මෙසේ කෙළේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මඟින් ආබ්‍රහම් ලත් ආශීර්වාදය අන්‍ය විජාතීන් කෙරෙහි පැමිණෙන පිණිසත් ඇදහිල්ල කරණකොටගෙන ආත්මයාණන් වහන්සේගේ පොරොන්දුව අප විසින් ලබාගන්නා පිණිසත් ය.</verse>
				<verse number="15">සහෝදරවරුනි, මම එදිනෙදා ජීවිතයෙන් උදාහරණයක් දක්වමි. යම් කෙනෙකුගේ ගිවිසුම් පත්‍රයක් ස්ථීර කරනු ලැබූ පසු, වෙන කෙනෙකුට එය අවලංගු කරන්න වත්, ඊට යමක් එකතු කරන්න වත් බැරි ය.</verse>
				<verse number="16">පොරොන්දු දෙන ලද්දේ ආබ්‍රහම්ට හා ඔහුගේ වංශයට ය. බහුවචනාර්ථයෙන් ‘වංශයන්ට ය’ නොකියා ඒක වචනාර්ථයෙන් ‘නුඹේ වංශයට ය’යි උන් වහන්සේ වදාළ සේක. ‘වංශය’ යන්නෙන් අදහස් කරන ලද්දේ ක්‍රිස්තුන් වහන්සේ ය.</verse>
				<verse number="17">මා කියන්නේ මෙය යි: දෙවියන් වහන්සේ විසින් කලින් ස්ථීර කරන ලද ගිවිසුමක් ඊට හාරසිය තිස් අවුරුද්දකට පසු පැමිණි ව්‍යවස්ථාවෙන් අවලංගු කරන්න වත්, පොරොන්දු නිෂ්ප්‍රභ කරන්න වත් නොහැකි ය.</verse>
				<verse number="18">උරුමයක් හිමි වන්නේ ව්‍යවස්ථාවෙන් නම්, එය පොරොන්දුවේ ප්‍රතිඵලයක් නොවේ. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ඒ උරුමය දුන්නේ පොරොන්දුවක් අනුව ය.</verse>
				<verse number="19">එසේ නම් ව්‍යවස්ථාව කුමට ද? එය දෙන ලද්දේ පොරොන්දුව ලැබූ ‘වංශය’ වූ ක්‍රිස්තුන් වහන්සේ එන තෙක් නීති විරෝධී ක්‍රියා මේ යයි පෙන්වා දෙන පිණිස ය. තවද, එය දෙන ලද්දේ මැදහත්කාරයෙකු අතින් දේව දූතයන් විසිනි.</verse>
				<verse number="20">එක් කෙනෙකු උදෙසා මැදහත්කාරයෙක් වුවමනා නැත. දෙවියන් වහන්සේ එක් කෙනෙක් ම ය.</verse>
				<verse number="21">එසේ නම් ව්‍යවස්ථාව දෙවියන් වහන්සේගේ පොරොන්දුවලට විරුද්ධ ද? කොහෙත් ම නැත, මන්ද, ජීවනය දිය හැකි ව්‍යවස්ථාවක් දෙන ලද්දේ නම්, ඒ මඟින් දමිටු බවට පත් කරනු ලැබීමට පුළුවන්කම තිබිණි.</verse>
				<verse number="22">එහෙත් මුළු ලොව ම පාපයෙහි සිරගත වී ඇතැ යි ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇති බැවින්, අදහන අයට පමණක් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළින් ඇදහිල්ල කරණකොටගෙන පොරොන්දුව ලබාගත හැකි ය.</verse>
				<verse number="23">පැමිණෙන්ට තිබුණු ඇදහීම එළිදරව් වන තෙක්, ඒ ඇදහීම පැමිණෙන්ට පෙර, අපි හිර අඩස්සි වී ව්‍යවස්ථාව යටතේ රැකවල් කරනු ලැබුවෙමු.</verse>
				<verse number="24">මෙසේ ව්‍යවස්ථාව වනාහි අප ඇදහිල්ල කරණකොටගෙන දමිටු බවට පත් කරනු ලබන පිණිස, අප ක්‍රිස්තුන් වහන්සේ ළඟට පමුණුවන අපේ අනුශාසකයෙකු වැනි ය.</verse>
				<verse number="25">එහෙත් දැන් ඇදහිල්ල පැමිණ තිබෙන බැවින්, අපි තවත් අනුශාසකයෙකු යටතේ නොවෙමු.</verse>
				<verse number="26">ඔබ සියල්ලෝ ම ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඇදහිල්ල කරණකොටගෙන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය.</verse>
				<verse number="27">ඔබ අතරෙන් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයට බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ සියල්ලෝ ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතයෙන් සැරසී සිටිති.</verse>
				<verse number="28">ඔබ සියල්ලන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ එක් කෙනෙකු මෙන් සිටින නිසා, ජුදෙව්-ග්‍රීක භේදය වත්, දාස-නිර්දාස භේදය වත්, ස්ත්‍රී-පුරුෂ භේදය වත් නැත.</verse>
				<verse number="29">ඔබ ක්‍රිස්තුන් වහන්සේට අයිති නම්, ඔබ ආබ්‍රහම්ගේ වංශයට අයිති ව, පොරොන්දුව ලෙස උරුමක්කාරයෝ ද වන්නහු ය.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">මා අදහස් කරන්නේ මෙය යි: උරුමක්කාරයා සියල්ලට ම හිමිකාරයා වන නමුත්, ඔහු බාල වයස් කාරයෙකු ව සිටින තාක්, දාසයෙකුට වඩා වෙනසක් නැත.</verse>
				<verse number="2">පියා නියම කළ වයසට පැමිණෙන තුරු උරුමක්කාරයා භාරකාරයන් හා වගකිව යුතු අය යටතෙහි සිටියි.</verse>
				<verse number="3">එසේ ම අපිත් බාල වයස්කාරයන් ව සිටිය දී විශ්වයේ දෙවිදේවතාවන්ට වහල් ව සිටියෙමු.</verse>
				<verse number="4">එහෙත් කාලය සම්පූර්ණ වූ කල, දෙවියන් වහන්සේ ස්ත්‍රියකගෙන් උපත ලත්, ව්‍යවස්ථාව යටතේ උපන්, සිය පුත්‍රයාණන් එවා වදාළ සේක.</verse>
				<verse number="5">එසේ කළේ අප දරුකම ලබනු වස් උන් වහන්සේ විසින් ව්‍යවස්ථාව යටතෙහි සිටි අය මුදාගන්නා පිණිස ය.</verse>
				<verse number="6">තවද ඔබ පුත්‍රයන් බව ඔප්පු කරන පිණිස, “අබ්බා, පියාණෙනි,” කියා හඬ ගසන තම පුත්‍රයාණන්ගේ ආත්මය දෙවියන් වහන්සේ අපේ සිත්වලට එවා වදාළ සේක.</verse>
				<verse number="7">මෙසේ ඔබ තවදුරටත් දාසයෙක් නොව පුත්‍රයෙකි. පුත්‍රයෙක් නම්, දේව වරමින් උරුමක්කාරයෙකි.</verse>
				<verse number="8">එසේ වුව ද ඔබ ඒ කාලයේ දී දෙවියන් වහන්සේ නොහැඳින, සැබැවින් ම දෙවිවරුන් නොවන අයට වහල් ව සිටියහු ය.</verse>
				<verse number="9">එහෙත් දැන් ඔබ දෙවියන් වහන්සේ පිළිගෙන තිබිය දී, නොහොත් දෙවියන් වහන්සේ ඔබ පිළිගෙන තිබිය දී, ඔබ ඒ දුර්වල, නිෂ්ඵල දෙවිදේවතාවුන්ට වහල්වීමේ ආශාවෙන්, නැවත ඔවුන් දෙසට හැරෙන්නේ කෙසේ ද?</verse>
				<verse number="10">ඔබ විශේෂ දවස්, මාස, කාල හා අවුරුදු පවත්වන්නහු ය.</verse>
				<verse number="11">සමහර විට ඔබ උදෙසා මා දැරූ වෙහෙස නිෂ්ඵල වී දැ යි ඔබ ගැන මට බියක් ඇත.</verse>
				<verse number="12">සහෝදරවරුනි, මා ඔබෙන් උදක් ම ඉල්ලන්නේ ඔබත් මා හා සමාන වන්නට කියා ය. වරක් මමත් ඔබ හා සමාන ව සිටියෙමි. ඔබ මට කිසි වරදක් කළේ නැත.</verse>
				<verse number="13">මා මුලින් සුබ අස්න ගෙනාවේ මට ශරීරාබාධයක් තිබූ නිසා බව ඔබ දන්නහු ය.</verse>
				<verse number="14">එහෙත් මාගේ ආබාධය ඔබට කරදරයක් වුව ද, ඒ නිසා ඔබ මා පිළිකුල් කළේවත්, මට ද්වේෂ කළේවත් නැත. එසේ නොව දෙවියන් වහන්සේගේ දූතයෙකු මෙන් ද එපමණක් නොව ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ම මෙන් ද ඔබ මා පිළිගත්තහු ය.</verse>
				<verse number="15">එසේ නම්, ඔබට තිබුණු ඒ ප්‍රීතිය දැන් කොයි ද? ඔබගේ ඇස් උගුළා මට දෙන තරමට වුව ද ඔබ සූදානම් ව සිටි බව සහතික ලෙස කිව හැකි ය.</verse>
				<verse number="16">දැන් මා ඇත්ත කතා කරන නිසා ම මම ඔබට සතුරෙක් වී සිටිම් ද?</verse>
				<verse number="17">මා ඉහත සඳහන් කළ පුද්ගලයන් ඔබට හිතවත්කමක් දක්වන නමුත්, එසේ කරන්නේ හොඳ අදහසකින් නොවේ. ඔවුන්ගේ අදහස නම්, ඔබ මා කෙරෙන් වෙන් කොටගෙන ඔබගේ සිත් දිනා ගැනීම යි.</verse>
				<verse number="18">යහපත සඳහා මිනිසුන්ගේ සිත් දිනාගැනීම, මා ඔබ සමඟ සිටින විට පමණක් නොව, කොයි වේලේත් හොඳ දෙයකි.</verse>
				<verse number="19">මාගේ දරුවෙනි, ඔබ තුළ ක්‍රිස්තු ගතිගුණ හැඩගැසෙන තුරු, ඔබ උදෙසා නැවතත් මම ප්‍රසව වේදනා විඳිමි.</verse>
				<verse number="20">ඒ නිසා හැකි නම් ඔබ සමඟ සිට වෙන පිළිවෙළකට ඔබට කතා කරන්න කැමැත්තෙමි. මන්ද, ඔබ ගැන මාගේ සිත වියවුල් වී තිබේ.</verse>
				<verse number="21">ව්‍යවස්ථාව පිළිපැදීමට ඔපමණ ආශා ඇති ඔබ, ව්‍යවස්ථාවේ ප්‍රකාශ කරන දේ අසන්නේ නැද් ද? මේ දේ මට කියන්න.</verse>
				<verse number="22">ආබ්‍රහම්ට පුත්‍රයන් දෙදෙනෙකු සිටි බව එහි කියා ඇත. එක් දරුවෙක් වහල් ස්ත්‍රියගෙනි. අනික් දරුවා නිවහල් ස්ත්‍රියගෙනි.</verse>
				<verse number="23">වහල් ස්ත්‍රියගේ පුතා ස්වාභාවික ලෙස ද, නිවහල් ස්ත්‍රියගේ පුතා දේව පොරොන්දුව අනුව ද උපන්නෝ ය.</verse>
				<verse number="24">මෙය උපමාවකි. ස්ත්‍රීහු දෙදෙනා ගිවිසුම් දෙකකි. වහල් කමට දරුවන් දැරූ ස්ත්‍රිය, සීනයි කන්දෙන් පැමිණෙන ගිවිසුම ය. ඒ හාගර් ය.</verse>
				<verse number="25">සීනයි කන්ද අරාබියෙහි ඇත. එය දැන් තිබෙන ජෙරුසලමට අදාළ වේ. මන්ද, ඈ තමාගේ දරුවන් සමඟ දාස කමෙහි සිටින්නී ය.</verse>
				<verse number="26">එහෙත් නිවහල් ස්ත්‍රිය නම් ස්වර්ගීය ජෙරුසලම යි. ඒ අපගේ මාතාව ය.</verse>
				<verse number="27">ඒ ගැන ශුද්ධ ලියවිල්ලේ මෙසේ ලියා ඇත: “දරුවන් නොලැබූ වඳ ස්ත්‍රිය, ප්‍රීති වන්න, ප්‍රසව වේදනා නොවිඳින ස්ත්‍රිය, ප්‍රීතියෙන් මොරදෙන්න. මන්ද, පුරුෂයා ඇති ස්ත්‍රියට වඩා හැරදමනු ලැබූ ස්ත්‍රියට දරුවෝ බොහෝ ය.”</verse>
				<verse number="28">සහෝදරයෙනි, ඔබ ඊසාක් ලෙස පොරොන්දුවේ දරුවෝ ය.</verse>
				<verse number="29">එහෙත් ස්වාභාවික ලෙස උපන් තැනැත්තා ආත්මයාණන් කරණකොටගෙන උපන් තැනැත්තාට ඒ කාලයේ දී පීඩා කළ ලෙස, දැනුත් පීඩා කරනු ලැබේ.</verse>
				<verse number="30">එහෙත් ශුද්ධ ලියවිල්ලෙහි කුමක් කියා ඇද් ද? “වහල් ස්ත්‍රිය හා ඇගේ දරුවා පන්නාදමන්න; මන්ද, නිවහල් ස්ත්‍රියගේ පුත්‍රයාට, වහල් ස්ත්‍රියගේ පුත්‍රයා සමඟ උරුමය නොලැබෙන්නේ ය” යනුයි.</verse>
				<verse number="31">එබැවින්, සහෝදරවරුනි, අපි වහල් ස්ත්‍රියකගේ නොව, නිවහල් ස්ත්‍රියකගේ දරුවෝ වෙමු.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">ක්‍රිස්තුන් වහන්සේ අප මුදාගත්තේ නිදහස්කම ඇතුව සිටීමට ය. එබැවින් දාසකම නමැති වියගහකට නැවත යටත් නොවී ස්ථිර ව සිටින්න.</verse>
				<verse number="2">ඔබ චර්මඡේදනය ලබන්නහු නම්, ක්‍රිස්තුන් වහන්සේගෙන් ඔබට කිසි ප්‍රයෝජනයක් නොලැබෙන බව පාවුලු නම් මම ඔබට කියමි,</verse>
				<verse number="3">එසේ ය, චර්මඡේදනය ලබන සැම දෙන ම මුළු ව්‍යවස්ථාව පැවැත්වීමට බැඳී සිටින බව නැවතත් මම සහතික කොට කියමි.</verse>
				<verse number="4">ව්‍යවස්ථාව මඟින් දමිටු බවට පත් වෙන්න සොයන ඔබ ක්‍රිස්තුන් වහන්සේගෙන් වෙන් කරන ලද්දහු ය. ඔබ දේව වරප්‍රසාදය නැති කරගෙන සිටින්නහු ය.</verse>
				<verse number="5">මන්ද, අපි ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඇදහිල්ලෙන් දමිටු කරනු ලැබීමේ බලාපොරොත්තුව ගැන පුල පුලා බලා සිටිමු.</verse>
				<verse number="6">ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් ප්‍රේමය කරණකොටගෙන ක්‍රියා කරන ඇදහිල්ලෙන් මිස, චර්මඡේදනයෙන් වත්, අචර්මඡේදනයෙන් වත් ප්‍රයෝජනයක් නැත.</verse>
				<verse number="7">ඔබ මැනැවින් ඉදිරියට දිව්වහු ය. එහෙත් සත්‍යයට කීකරුවීම සඳහා ඔබට බාධා කෙළේ කවරෙක් ද?</verse>
				<verse number="8">ඔබට බාධා කෙළේ ඔබ කැඳෙව් දෙවියන් වහන්සේ නොවේ.</verse>
				<verse number="9">මුහුන් ටිකකින් මුළු පිටි පිඩ පිපේ.</verse>
				<verse number="10">ඔබ මට වඩා වෙනස් ආකාරයකින් කල්පනා නොකරන බවට ස්වාමීන් කෙරෙන් වන සහතිකයක් මට ඇත. ඔබ වියවුල් කරන තැනැත්තා කවරෙක් වුවත්, ඔහු තමාට හිමි දඬුවම ලබනු ඇත.</verse>
				<verse number="11">සහෝදරවරුනි, චර්මඡේදනය අවශ්‍ය බව මම තවමත් ප්‍රකාශ කරම් නම්, කුමක් නිසා තව ම පීඩා කරනු ලබම් ද? එය ඇත්තක් නම් කුරුසිය පිළිබඳ මා ප්‍රකාශ කරන දේ තවත් බාධාවට හේතුවක් නොවේ.</verse>
				<verse number="12">මේ චර්මඡේදනවාදී වියවුල්කාරයන් සම්පූර්ණ ඡේදනයකින් නපුංසකයන් වීම වඩා හොඳය.</verse>
				<verse number="13">සහෝදරවරුනි, ඔබ නිදහස්කමට කැඳවනු ලැබුවහු ය; ඔබගේ ඒ නිදහස මාංසික තෘෂ්ණා සඳහා වැය නොකොට, ප්‍රේමයෙන් එකිනෙකාට සේවය කරන්න.</verse>
				<verse number="14">මන්ද, ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න යන එක ශික්ෂා පදය මුළු ව්‍යවස්ථාවෙහි සම්පිණ්ඩනය වෙයි.</verse>
				<verse number="15">එහෙත් ඔබ එකිනෙකා උනුනුන් කුළල් කාගන්නහු නම්, ඔබ එකිනෙකාගෙන් විනාශ නොවන හැටියට වග බලාගන්න.</verse>
				<verse number="16">ආත්මයාණන් වහන්සේගේ මඟ පෙන්වීම ඇති ව හැසිරෙන්න. එවිට ඔබ මාංසික තෘෂ්ණාවලට වසඟ වන්නේ නැත.</verse>
				<verse number="17">මන්ද, මාංසික තෘෂ්ණා ආත්මයාණන් වහන්සේට විරුද්ධ ය. ආත්මයාණන් වහන්සේ ද මාංසික තෘෂ්ණාවලට විරුද්ධ ය. දෙපක්ෂය අතර ඇති මේ විරෝධය නිසා, ඔබ කැමැති දේ ඔබට කළ නොහැකි ය.</verse>
				<verse number="18">එහෙත් ඔබ ආත්මයාණන් වහන්සේ විසින් මඟ පෙන්වනු ලබන්නහු නම්, ඔබ ව්‍යවස්ථාව යටතේ නොසිටින්නහු ය.</verse>
				<verse number="19">මාංසික තෘෂ්ණාවල පලවිපාක පැහැදිලි ය: එනම්, කාමමිථ්‍යාචාරය, අපවිත්‍රකම, සල්ළාලකම,</verse>
				<verse number="20">රූප වැඳීම, කොඩිවින, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, යශස්කාමය, පක්ෂ භේද, ආරාවුල්,</verse>
				<verse number="21">වෛරය, බීමත්කම, සූරාධූර්ත උත්සව හා එවැනි තවත් දේ ය. මෙබඳු දේ කරන්නන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම පෙර කී ලෙස ම, දැනුත් කියමි.</verse>
				<verse number="22">එහෙත් ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඇති වන ප්‍රතිඵල නම්: ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසකම,</verse>
				<verse number="23">මෘදුකම හා ආත්ම දමනය යන මේවා ය. මේවා ගැන නීතිරීති නැත.</verse>
				<verse number="24">ක්‍රිස්තුන් වහන්සේට අයිති වූ අය ඔවුන්ගේ රාග, ක්ලේශ සහිත මාංසික ජීවිතය කුරුසියෙහි ඇණ ගසා ඇත.</verse>
				<verse number="25">අපි ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ජීවත් වෙමු නම්, ආත්මයාණන් වහන්සේගෙන් මඟපෙන්වීම ලබමු.</verse>
				<verse number="26">නිෂ්ඵල පාරට්ටු කර නොගනිමු. එකිනෙකා කෝප නොකරමු. එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරමු.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">සහෝදරයෙනි, මිනිසෙකු යම් වරදක් කරද්දී අසු වුණොත් ශුද්ධාත්ම දායාදය ඇති ඔබ මෘදුකමින් ඔහු යහමඟට හරවාගත යුතු ය. ඔබ ද පරීක්ෂාවට නොවැටෙන පිණිස ප්‍රවේසම් වන්න.</verse>
				<verse number="2">එකිනෙකාගේ බර උසුලා, එසේ ක්‍රිස්තුන් වහන්සේගේ ආඥාව පිළිපදින්න.</verse>
				<verse number="3">කිසි වැදගැම්මකට නැති කෙනෙක් තමා වැදගත් කෙනෙක් යයි සිතන්නේ නම්, ඔහු තමා ම රවටා ගනියි.</verse>
				<verse number="4">එකිනෙකා තම තමාගේ කල්ක්‍රියාව තමා විසින් ම සෝදිසි කර බැලිය යුතු ය. එය යහපත් නම්, එය තමා ම අත් කරගත් දෙයක් බැවින්, අනුන්ගේ කල්ක්‍රියාවට සමාන නොකොට, තමාට ම ඒ ගැන පාරට්ටු විය හැකි ය.</verse>
				<verse number="5">තමා විසින් ම ඉසිලිය යුතු බරක් හැම මිනිසෙකුට ම ඇත.</verse>
				<verse number="6">ධර්ම වාක්‍ය ඉගෙනගන්නා, උගන්වන්නාට තමා සතු සියලු යහපත් දෙයින් සංග්‍රහ කෙරේ වා.</verse>
				<verse number="7">මුළා නොවෙන්න, කිසිවෙකුට දෙවියන් වහන්සේ රැවටිය නොහැකි ය. මන්ද, මිනිසෙක් තමා වපුරන දෙය ම කපාගන්නේ ය.</verse>
				<verse number="8">කෙලෙස් මල නමැති කෙතෙහි වපුරන්නා, කෙලෙස් මලින් ජරාවට පත් වන මරණය නමැති අස්වැන්න නෙළාගන්නේ ය. ආත්මයාණන් නමැති කෙතෙහි වපුරන්නා ආත්මයාණන්ගෙන් සදාතන ජීවනය නමැති අස්වැන්න නෙළාගන්නේ ය.</verse>
				<verse number="9">ඒ නිසා යහපත කිරීමට මැළි නොවෙමු. මන්ද, මන්දෝත්සාහී නුවූවොත් අපි යථා කාලයේ දී අස්වැන්න නෙළාගන්නෙමු.</verse>
				<verse number="10">එබැවින් අපට ඉඩ ප්‍රස්ථා ඇති හැටියට සියල්ලන්ට ම, ප්‍රධානකොට ඇදහිලිවන්තයන්ගේ පවුලට අයිති වූ අයට, යහපත්කම් කරමු.</verse>
				<verse number="11">කොපමණ ලොකු අකුරුවලින් මාගේ ම අතින් ඔබට ලියා ඇද්ද කියා බලන්න.</verse>
				<verse number="12">මාංසික ලකුණක් අනුව තම උතුම්කම පෙන්වීමට කැමැති අය චර්මඡේදනය ලබන්න ඔබට බල කරති. එසේ කරන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසිය නිසා ඇති වන පීඩාවලින් වළකින පිණිස පමණක් ය.</verse>
				<verse number="13">චර්මඡේදනය ලබන්නෝ පවා ව්‍යවස්ථාව නොපිළිපදිති. එහෙත් ඔබ චර්මඡේදනය කරවීමට ඔවුන් අදහස් කරන්නේ, ඒ ගැන ඔවුන් පාරට්ටු කර ගන්නා පිණිස ය.</verse>
				<verse number="14">එහෙත් මම නම් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසිය ගැන මිස අන් කිසිවක් ගැන පාරට්ටු කර නොගනිමි. මන්ද, කුරුසිය කරණකොටගෙන ලෝකය ගැන මාගේ ආශාව ද, මා ගැන ලෝකයාගේ ආශාව ද මැරුණා හා සමාන ය.</verse>
				<verse number="15">චර්මඡේදනය වත් අචර්මඡේදනය වත් වැදගත් නැත; වැදගත් දෙය නම්, අලුත් මැවිල්ලක් වීම ය.</verse>
				<verse number="16">යම් පමණ දෙනෙක් මේ ප්‍රතිපත්තිය අනුගමනය කරන්නෝ ද ඒ හැමට සාමදානයත්, දයාවත් වේ වා! දෙවියන් වහන්සේගේ මුළු සෙනඟටත් එසේ ම වේ වා!</verse>
				<verse number="17">මින් මතු කිසිවෙක් මට කරදර නොකෙරේ වා. මන්ද, මම මාගේ ශරීරයේ ජේසුස් වහන්සේගේ නිවරණ දරමි.</verse>
				<verse number="18">සහෝදරයෙනි, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදය ඔබ සමඟ වේ වා! ආමෙන්.</verse>
			</chapter>
		</book>
		<book number="49">
			<chapter number="1">
				<verse number="1">දේව කැමැත්තෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වන පාවුලු නම් මම, එපීසයේ සිටින, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අදහන සැදැහැවතුන් වෙත ලියමි.</verse>
				<verse number="2">අපගේ දෙවි පියාණන් වහන්සේගෙන් ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද කරුණාව හා ශාන්තිය ඔබ හට වේ වා!</verse>
				<verse number="3">ක්‍රිස්තුන් වහන්සේ තුළින් ස්වර්ගීය ස්ථානවල සියලු ආධ්‍යාත්මික ආශීර්වාද අපට දෙවා වදාළ, අපගේ ස්වාමීන් වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා!</verse>
				<verse number="4">ප්‍රේමයෙන් උන් වහන්සේ ඉදිරියෙහි අප ශුද්ධ ව නොකැළැල් ව සිටින පිණිස, ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුන් වහන්සේ තුළ දෙවියන් වහන්සේ අප තෝරාගත් සේක.</verse>
				<verse number="5">තවද ස්වකීය ප්‍රසාදය හා අරමුණ අනුව, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන, උන් වහන්සේ, අප දරුකමට පිළිගන්න පිණිස, දෙවියන් වහන්සේ පෙර නියම කළ සේක.</verse>
				<verse number="6">උන් වහන්සේ එසේ කළේ තමන් වහන්සේගේ ප්‍රේමයාණන් වහන්සේ තුළ අපට දේව වරප්‍රසාදය අනුව ලබාදුන් මහිමාන්විත කරුණාවේ ප්‍රශංසාව සඳහා ය.</verse>
				<verse number="7">ක්‍රිස්තුන් වහන්සේගේ යාගික රුධිරය කරණකොටගෙන, දෙවියන් වහන්සේගේ වරප්‍රසාද සම්පතේ ප්‍රකාරයට අපට මිදීමත්, පව් කමාවත් ලැබී ඇත.</verse>
				<verse number="8">ඒ වරප්‍රසාදය, සියලු ප්‍රඥාවෙන් හා නුවණින් උන් වහන්සේ අපට බහුල ව ප්‍රදානය කර,</verse>
				<verse number="9">උන් වහන්සේගේ කැමැත්තේ අබිරහස අපට දන්වා වදාළ සේක. එසේ කරන ලද්දේ, තමන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ තුළ, සිය කැමැත්තෙන් නියම කරගත් ස්වකීය අභිප්‍රාය අනුව ය.</verse>
				<verse number="10">දෙවියන් වහන්සේගේ ඒ අභිප්‍රාය නම්, නියමිත කාලයේ දී ස්වර්ගයෙහි ද පොළොවෙහි ද, එනම් මුළු විශ්වයෙහි ඇති සියල්ල, ක්‍රිස්තුන් වහන්සේ යටතේ එක්සත් කිරීම ය.</verse>
				<verse number="11">අපි මෙම ක්‍රිස්තුන් වහන්සේ තුළින් තෝරාගත් සෙනඟක් වෙමු. එසේ වන්නේ, දෙවියන් වහන්සේ පෙර නියම කරගත් සැලැස්ම ලෙස, සියල්ල සිදු කරන ස්වකීය අභිප්‍රාය අනුව ය.</verse>
				<verse number="12">මෙසේ වූයේ ක්‍රිස්තුන් වහන්සේ තුළින් ප්‍රථමයෙන් බලාපොරොත්තු ලැබූ අප, උන් වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා සිටින පිණිස ය.</verse>
				<verse number="13">ඉදින්, උන් වහන්සේ තුළින් ඔබ ද, සත්‍ය ධර්මය වන ඔබගේ ගැළවීම සලසන සුබ අස්න අසා අදහාගෙන, පොරොන්දු වූ ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් සහතිකකමේ මුද්‍රාව ලැබුවහු ය.</verse>
				<verse number="14">ඒ ශුද්ධාත්මයාණන් වනාහි, දෙවියන් වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා, උන් වහන්සේට අයිති අයට ගැළවීම සලසා දෙන අපේ උරුමයේ අත්තිකාරම ය.</verse>
				<verse number="15">ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇති ඔබේ ඇදහිල්ල ගැන ද සැදැහැවතුන්ට ඔබ දක්වන ප්‍රේමය ගැන ද යන කරුණු අසා,</verse>
				<verse number="16">මම ඔබ ගැන මාගේ යාච්ඤාවල දී සිහි කරමින් නොකඩවා දෙවියන් වහන්සේට ස්තුති කරමි.</verse>
				<verse number="17">තේජසේ පියාණන් වූ, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දෙවියන් වහන්සේ, උන් වහන්සේ අවබෝධ කරගැනීම පිණිස, ප්‍රඥාව හා විදර්ශන ශක්තිය ඔබට දෙන මෙන් මම යාච්ඤා කරමි.</verse>
				<verse number="18">තවද, උන් වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කිමෙක් ද කියාත්, සැදැහැවතුන්ට හිමි වන තේජාන්විත උරුමයේ ධන සම්භාරය කිමෙක් ද කියාත්,</verse>
				<verse number="19">ඇදහිලිවන්තයන් වන අප තුළ ක්‍රියා කරන, උන් වහන්සේගේ බලපරාක්‍රමයේ උදාරබව කිමෙක් ද කියාත්, ඔබ දැන ගන්නා පිණිස ඔබේ මනස පැහැදෙනසේ මම යාච්ඤා කරමි.</verse>
				<verse number="20">දෙවියන් වහන්සේගේ ඒ වික්‍රමාන්විත බලපරාක්‍රමය නම්, උන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ මරණයෙන් උත්ථාන කර, ස්වර්ග ලෝකයෙහි ස්වකීය දකුණු පස සිංහාසනාරූඪ කිරීමෙන්, ක්‍රිස්තුන් වහන්සේ තුළ උන් වහන්සේ ඉටු කළ ක්‍රියාකාරී බලය ම ය.</verse>
				<verse number="21">එම ක්‍රිස්තුන් වහන්සේ සියලු අධිපතීන්ටත්, බලධාරීන්ටත්, පරාක්‍රමවලටත්, අධිකාරීන්ටත්, එසේ ම, මේ යුගයේ පමණක් නොව, මතු පැමිණෙන යුගයෙහි ද, නම් කළ හැකි තාක් සියලු ප්‍රභූ නාමයන්ටත් ඉහළින් වැජඹෙන සේක.</verse>
				<verse number="22">දෙවියන් වහන්සේ සියලු දේ ක්‍රිස්තුන් වහන්සේගේ පාදවලට යටත් කර, උන් වහන්සේ සභාවේ මහේශාක්‍ය නායකයාණන් කොට පත් කළ සේක.</verse>
				<verse number="23">සභාව උන් වහන්සේගේ ශරීරය ය. ශරීරය එහි හිස වන, සියල්ල බද්ධ කරන, ක්‍රිස්තුන් වහන්සේට සම්බන්ධ වූ විට, එක ම සර්ව සම්පූර්ණත්වයක් ඇති වේ.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">වැරදි ක්‍රියා හා පාප හේතුකොටගෙන ඔබ මැරී සිටි කාලයක් විය.</verse>
				<verse number="2">එකල ඔබ අනුගමනය කෙළේ මේ යුගයේ පවිටු මඟ ය. තවද, අකීකරු අය තුළ ක්‍රියා කරන බලවේගය වන, ආකාශ බලධාරීන්ගේ අධිපතියාට ද ඔබ යටත් ව සිටියහු ය.</verse>
				<verse number="3">එකල අපිත් ඔවුන්ගේ ගණයට අයිති ව, මාංසික තෘෂ්ණාවලට වහල් ව ජීවත් වෙමින්, සිතෙත් කයෙත් ආශාවන් පිනවමින්, සෙසු අය මෙන් අපේ ගතිපැවතුම් අනුව දේව උදහසට ලක් වී සිටියෙමු.</verse>
				<verse number="4">එහෙත් දයාවෙන් සමෘද්ධ වූ දෙවියන් වහන්සේ, අධික ප්‍රේමයකින් අපට ප්‍රේම කළ බැවින්,</verse>
				<verse number="5">අපේ වැරදි ක්‍රියා හේතුකොටගෙන අප මැරී සිටිය දී පවා, ක්‍රිස්තුන් වහන්සේ සමඟ අප ජීවත් කර වදාළ සේක. ඔබ ගැළවී සිටින්නේ දේව වරප්‍රසාදයෙන් ය.‍</verse>
				<verse number="6">තවද, දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් උන් වහන්සේ සමඟ අප උත්ථාන කර, උන් වහන්සේ සමඟ සග ලොවෙහි අපට අසුන් ගැනීමට සැලැසූ සේක.</verse>
				<verse number="7">එසේ කෙළේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ අපට දැක්වූ කරුණාව කරණකොටගෙන උන් වහන්සේගේ වරප්‍රසාදයේ මහා ධන සම්භාරය මතු යුගවලට පෙන්වන පිණිස ය.</verse>
				<verse number="8">ඔබ ගැළවී සිටින්නේ දේව වරප්‍රසාදය මඟින් වූ ඇදහීම කරණකොටගෙන ය. එය ඔබගේ ම ක්‍රියාවක් නොව, දෙවියන් වහන්සේගේ දීමනාව ය.</verse>
				<verse number="9">ගැළවීම පුණ්‍ය ක්‍රියාවල ප්‍රතිඵලයක් නොවන බැවින්, කිසිවෙකුට පාරට්ටුවට ඉඩක් නැත.</verse>
				<verse number="10">මන්ද, අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස දෙවියන් වහන්සේ විසින් ක්‍රිස්තුන් වහන්සේ තුළ මවනු ලැබූ මැවිලි වෙමු. ඒ යහපත් ක්‍රියා කරන පිණිස දෙවියන් වහන්සේ කල් තියා අප සූදානම් කළ සේක.</verse>
				<verse number="11">එබැවින් ඔබේ පෙර තත්ත්වය සිහි කරන්න. ඒ කාලයේ දී ඔබ ශාරීරික ලකුණක් නොලත් බැවින් විජාතිකයෝව සිටියහු ය. බාහිර පිළිවෙතක් නිසා තුමූ චර්මඡේදිතයෝ යයි කියාගත් අය විසින් ඔබ අචර්මඡේදිතයෝ යයි අවමන් කරනු ලැබුවහු ය.</verse>
				<verse number="12">තවද ඒ කාලයේ දී ඔබ ක්‍රිස්තුන් වහන්සේ නැති ව, තෝරාගත් ඉශ්රායෙල් ජාතියෙන් බැහැර ව, පොරොන්දුවේ ගිවිසුම්වල පංගුකාරකමක් නොමැති ව, බලාපොරොත්තු රහිත ව, දෙවියන් වහන්සේගෙන් ඉවත් ව, ලෝකයෙහි ජීවත් වූ බව සිහි කරන්න.</verse>
				<verse number="13">එහෙත් ක්‍රිස්තුන් වහන්සේ තුළින්, වරක් දුර සිටියා වූ ඔබ, දැන් උන් වහන්සේගේ දිවි පිදීම කරණකොටගෙන ළං කරනු ලැබුවහු ය.</verse>
				<verse number="14">ජුදෙව්වරුන් හා විජාතිකයන් එක්කරමින් උන් වහන්සේ අප අතර සමඟිය ඇති කළ සේක. උන් වහන්සේ මිනිසත් බව ගෙන, ඔවුන් වෙන් කළ, ඔවුන් අතර වෛරය ඇති කළ, මැද බිත්තිය කඩා දැමූ සේක.</verse>
				<verse number="15">මේ දෙජාතිය, නව මනුෂ්‍යත්වයක් කොට මවා, සමඟිය ඇති කරන පිණිස, උන් වහන්සේ නීති නියෝග ඇතුළත් ව්‍යවස්ථාව අවලංගු කළ සේක.</verse>
				<verse number="16">කුරුසිය කරණකොටගෙන උන් වහන්සේ වෛරය නැති කර, දෙවියන් වහන්සේ උදෙසා ඒ දෙජාතිය එක ම ශරීරයක් වන පිණිස සමඟි කර වදාළ සේක.</verse>
				<verse number="17">එසේ උන් වහන්සේ වැඩම කර, දුර සිටියා වූ ඔබටත්, ළඟ සිටියා වූ අයටත්, සාමයේ පණිවුඩය දේශනා කර වදාළ සේක.</verse>
				<verse number="18">එක ම ආත්මයාණන් වහන්සේ තුළ, ජුදෙව්වරුන් හා විජාතීන් යන දෙපක්ෂයට, පියාණන් වහන්සේ වෙතට පිවිසීමේ වරය ලැබිය හැක්කේ, ක්‍රිස්තුන් වහන්සේ නිසා ය.</verse>
				<verse number="19">එබැවින් ඔබ තවත් විදේශිකයෝ වත්, ආගන්තුකයෝ වත් නොව, ශුද්ධ වන්තයන් සමඟ සහකාර පුරවැසියෝ ද දෙවියන් වහන්සේගේ පවුලේ දූදරුවෝ ද වෙති.</verse>
				<verse number="20">ඔබ ප්‍රේරිතයන්ගේ ද, දිවැසිවරයන්ගේ ද අත්තිවාරම පිට ඉදි කරනු ලැබ සිටින්නහු ය. එහි කොණේ ප්‍රධාන ගල නම් ක්‍රිස්තුන් වහන්සේ ම ය.</verse>
				<verse number="21">උන් වහන්සේ තුළ මුළු ගොඩනැඟිල්ල ඒකාබද්ධ ව, සමිඳාණන් වහන්සේ තුළ ශුද්ධ මන්දිරයක් සේ වර්ධනය වන්නේ ය.</verse>
				<verse number="22">උන් වහන්සේ තුළ ඔබත්, ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ වාසස්ථානය සඳහා එක් කොට ගොඩනඟනු ලැබේ.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">මේ කාරණය නිසා ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ හිරකාරයෙකු වන පාවුලු නම් මම, විජාතීන් වූ ඔබ උදෙසා යාච්ඤා කරමි.</verse>
				<verse number="2">ඔබේ යහපත පිණිස සේවය කිරීමේ වරප්‍රසාදය දෙවියන් වහන්සේ මට බාර දී ඇති බව ඔබ ඇත්තෙන්ම අසා ඇත.</verse>
				<verse number="3">මා ලුහුඬින් ලියා තිබෙන ලෙස, මේ රහස එළිදරව් වීමකින් මට ප්‍රකාශ කරන ලදී.</verse>
				<verse number="4">මා ලියා ඇති ඒ දේ කියවීමෙන්, ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ අබිරහස ගැන මට ඇති අවබෝධය ඔබට තේරුම් ගත හැකි ය.</verse>
				<verse number="5">ආදි පරම්පරාවල මනුෂ්‍ය වර්ගයාට ඒ අබිරහස ප්‍රකාශ නොකරන ලදී. එහෙත් දැන් ආත්මයාණන් කරණකොටගෙන ශුද්ධ ප්‍රේරිතයනටත්, දිවැසිවරයනටත් එය එළිදරව් කර ඇත.</verse>
				<verse number="6">ඒ අබිරහස නම්, සුබ අස්න කරණකොටගෙන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ විජාතීන් ජුදෙව්වරුන් සමඟ හවුල් උරුමක්කාරයන් ද සභා ශරීරයේ හවුල් සාමාජිකයන් ද පොරොන්දුවේ හවුල් පංගුකාරයන් ද වන බව ය.</verse>
				<verse number="7">දෙවියන් වහන්සේගේ බලයේ ක්‍රියා කිරීමේ ප්‍රකාරයට, මට දෙන ලද උන් වහන්සේගේ කරුණාවේ දීමනාව ලෙස, මම ඒ සුබ අස්නේ සේවකයෙක් කරනු ලැබීමි.</verse>
				<verse number="8">සැදැහැවතුන්ගෙන් ඉතා සුළු තැනැත්තාටත් වඩා සුළු වූ මට, මේ වරප්‍රසාදය දෙන ලද්දේ, ක්‍රිස්තුන් වහන්සේගේ අසීමිත ධන සම්භාරය, විජාතීන්ට දේශනා කිරීමටත්,</verse>
				<verse number="9">මේ අබිරහස් අරමුණ ක්‍රියාත්මක කරනු ලබන ආකාරය එළිදරව් කිරීමටත් ය. යුග ගණනාවක් මුළුල්ලේ ඒ අබිරහස විශ්වයේ මැවුම්කාරයාණන් වන දෙවියන් වහන්සේ තුළ සැඟවී තිබිණි.</verse>
				<verse number="10">එසේ වූයේ, මේ කාලයේ දී, ශුද්ධ සභාව මඟින් ස්වර්ග ලෝකවල අධිපතීන්ටත්, බලධාරීන්ටත්, දෙවියන් වහන්සේගේ විවිධාකාර ප්‍රඥාව දන්වනු ලබන පිණිස ය.</verse>
				<verse number="11">දෙවියන් වහන්සේ මෙසේ කළේ, අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් උන් වහන්සේ ඉටු කළ ස්වකීය සදාතන අභිප්‍රායට අනුකූල ව ය.</verse>
				<verse number="12">ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි අපේ ඇදහිල්ල කරණකොටගෙන නිර්භීතකමත්, සැක නැතිව දෙවියන් වහන්සේ වෙත ළඟා වීමේ නිදහසත්, උන් වහන්සේ තුළ අපට ඇත.</verse>
				<verse number="13">එහෙයින් ඔබ නිසා මා දුක් විඳින බැවින්, අධෛර්ය‍ නොවන ලෙස ඉල්ලමි. ඒ ගැන ඔබ ආඩම්බර විය යුතු ය.</verse>
				<verse number="14">මේ හේතුව නිසා, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියලු පෙළපත්වලට නාමය දෙන්නා වූ,</verse>
				<verse number="15">පියාණන් වහන්සේ ඉදිරියෙහි මම දණින් වැටී යාච්ඤා කරමි.</verse>
				<verse number="16">උන් වහන්සේගේ මහිමතාවේ සම්පතේ හැටියට, ස්වකීය ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඔබේ ආධ්‍යාත්මික භාවය ශක්තිසම්පන්න වන පිණිස ඔබට බලය දෙන ලෙස ද,</verse>
				<verse number="17">ඇදහිල්ල කරණකොටගෙන ක්‍රිස්තුන් වහන්සේ ඔබේ සිත් තුළ වාසය කරන පිණිස ද, යාච්ඤා කරමි. තවද, ප්‍රේමයේ මුල් බැස, ස්ථිර ව පිහිටා සිටින පිණිස ද, යාච්ඤා කරමි.</verse>
				<verse number="18">සියලු සැදැහැවතුන් සමඟ ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමයේ දිගත්, පළලත්, උසත්, ගැඹුරත් වටහා ගැනීමට ශක්තිය ලබා,</verse>
				<verse number="19">ක්‍රිස්තුන් වහන්සේගේ ඥානාතික්‍රාන්ත ප්‍රේමය අවබෝධ කරගෙන, දෙවියන් වහන්සේගේ පරිපූර්ණතාවෙන් ඔබ පූර්ණ වන පිණිස ද යාච්ඤා කරමි.</verse>
				<verse number="20">අප තුළ ක්‍රියා කරන බලය කරණකොටගෙන අප ඉල්ලන, සිතන සියලු දේට වඩා අධික ලෙස කරන්නට බලය ඇති</verse>
				<verse number="21">දෙවියන් වහන්සේට සභාව තුළ ද ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ද යුගයෙන් යුගයට, සදහට ම මහිමය වේ වා! ආමෙන්.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">එබැවින්, දෙවියන් වහන්සේගෙන් ඔබ ලත් කැඳවීමට ඔබින ලෙස හැසිරෙන මෙන් සමිඳාණන් වහන්සේ උදෙසා හිරකාරයෙකු වන මම ඔබෙන් උදක් ම ඉල්ලමි.</verse>
				<verse number="2">සැම විට ම නිහතමානි ව, විනීත ව, ඉවසිලිවන්ත ව සිටින්න; ප්‍රේමයෙන් එකිනෙකා සමඟ පෑහී සිටින්න;</verse>
				<verse number="3">ආත්මයාණන් වහන්සේගෙන් වන එක්සත්කම, සමඟිකමේ බැම්මෙන් පවත්වාගන්ට උත්සාහ කරන්න.</verse>
				<verse number="4">ඔබ කැඳවනු ලැබූ කල එක ම බලාපොරොත්තුවකට කැඳවනු ලැබූ ලෙස, ඇත්තේ එක ම ශරීරයත්, එක ම ආත්මයාණන් වහන්සේත් ය;</verse>
				<verse number="5">එක ම සමිඳාණන් වහන්සේත්, එක ම ඇදහිල්ලත්, එක ම බව්තීස්ම-ස්නාපනයත් ය;</verse>
				<verse number="6">සියල්ලන්ට ඉහළින් සිටින, සියල්ලන් තුළින් ක්‍රියා කරන, සියල්ලන් තුළ වැඩවසන එක ම දෙවි පියාණන් වහන්සේත් ය.</verse>
				<verse number="7">එහෙත් ක්‍රිස්තුන් වහන්සේ සිය දීමනාවේ ප්‍රමාණය අනුව අප එකිනෙකාට දේව වරප්‍රසාදය ප්‍රදානය කර ඇත.</verse>
				<verse number="8">ඒ ගැන මෙසේ කියා තිබේ: “උන් වහන්සේ අග්‍රස්ථානයට නැඟුණු කල, පරදවා ජයගත් සතුරු සේනාව ගෙන ගොස්, මිනිසුන්ට දීමනා පිරිනැමූ සේක.”</verse>
				<verse number="9">උන් වහන්සේ නැඟුණ සේකැ යි කීමෙන් කුමක් අදහස් කෙරේ ද? එයින් අදහස් කරන්නේ උන් වහන්සේ ප්‍රථමයෙන් පොළොවේ පහත් ම තැන් වලට බැස්ස බව ය.</verse>
				<verse number="10">පහළට බැස වදාළ තැනැන් වහන්සේ නම්, මුළු විශ්වය පූර්ණ කරන පිණිස සියලු ස්වර්ග ලෝක ඉක්මවා ඉහළට නැඟුණු තැනැන් වහන්සේ ම ය.</verse>
				<verse number="11">මේ ක්‍රිස්තුන් වහන්සේ, සමහරුන් ප්‍රේරිතයන් ද සමහරුන් දිවැසිවරුන් ද සමහරුන් ධර්ම දේශකයන් ද සමහරුන් සභා පාලකයන් ද සමහරුන් ගුරුවරුන් ද වශයෙන් පත් කළ සේක.</verse>
				<verse number="12">එසේ කළේ දෙවියන් වහන්සේගේ සෙනඟ දේව සේවය සඳහා සම්පූර්ණයෙන් පුහුණු කිරීමටත්, ක්‍රිස්තු ශරීරය වර්ධනය කිරීමටත් ය.</verse>
				<verse number="13">මේ ආකාරයෙන් ඇදහිල්ලේ ද දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් දැනගැන්මේ ද එකමුතුකමටත්, ක්‍රිස්තුන් වහන්සේගේ පරිණතභාවයෙන් වන පරිපූර්ණ පෞරුෂත්වයටත් අපි පත් වන්නෙමු.</verse>
				<verse number="14">එසේ වූ විට, අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන් ද ප්‍රයෝගයෙන් ද මුළා කරන සුලු උපායෙන් ද හටගන්නා, සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින් ඔබමොබ විසි වෙන, තරංගවලින් ගසාගෙන යන බාලයෝ නොවෙමු.</verse>
				<verse number="15">එසේ නොවී, අපි ප්‍රේමයෙන් සත්‍යය කතා කරමින් ක්‍රිස්තුන් වහන්සේ තුළ හැම අයුරින් ම වර්ධනය වන්නෙමු.</verse>
				<verse number="16">හිස වන උන් වහන්සේ කරණකොටගෙන මුළු ශරීරය, ඊට සපයා ඇති එක එක අවයවයයෙන් සන්ධි කොට, ඒකාබද්ධ කරනු ලැබේ. එක එක අවයවය ඊට යුතු ලෙස ක්‍රියා කළ විට මුළු ශරීරය ප්‍රේමයෙන් වැඩී, වර්ධනය වේ.</verse>
				<verse number="17">එබැවින්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම තදින් ම ඔබට මෙසේ කියමි: පුහු අදහස් ඇති මිසදිටුවන් මෙන් තවත් නොහැසිරෙන්න.</verse>
				<verse number="18">අවිද්‍යාව හා මුරණ්ඩුකම නිසා ඔවුන්ගේ සිත් අඳුරු වී, ඔව්හු දෙවියන් වහන්සේගේ ජීවනයෙන් වෙන් ව සිටිති.</verse>
				<verse number="19">විළිබිය නැති ව ඔව්හු සල්ළාලකමෙහි ඇලීගැලී සිටිමින්, ඉවක්බවක් නැති ව අනාචාරකම් කරති.</verse>
				<verse number="20">එහෙත් ක්‍රිස්තුන් වහන්සේ ගැන ඔබ ඉගෙනගත් දේ එවැන්නක් නොවේ.</verse>
				<verse number="21">සැබැවින් ම උන් වහන්සේ ගැන ඔබ ඇසුවා පමණක් නොව, කිතුනුවන් වශයෙන් උන් වහන්සේ තුළ වූ සත්‍යය ද ඔබට උගන්වන ලදී.</verse>
				<verse number="22">එබැවින් ඔබේ පසුගිය පැවැත්මට අයිති වූ තෘෂ්ණාවලින් මුළා වී විනාශ වන්නා වූ පරණ ස්වභාවය අහක දමා,</verse>
				<verse number="23">ආධ්‍යාත්මික නවතාවයක් ඇති කරගන්න.</verse>
				<verse number="24">දෙවියන් වහන්සේගේ ස්වරූපය අනුව මවන ලද, දමිටුකමින් ද ශුද්ධවන්තකමින් ද ප්‍රකාශ වන අලුත් ස්වභාවය පැළඳගන්න.</verse>
				<verse number="25">එබැවින් බොරු කීම අත්හැරදමා, අසල්වාසි එකිනෙකා සමඟ සත්‍යය කතා කරන්න. මන්ද, අපි එකිනෙකා අන්‍යොන්‍ය අවයවයෝ වෙමු.</verse>
				<verse number="26">කෝප වුවත් පව් නොකරන්න. ඉර බහින තුරු හිතේ කෝපය තබා නොගන්න.</verse>
				<verse number="27">යක්ෂයාට ඉඩ නොදෙන්න.</verse>
				<verse number="28">සොරකම් කළ අය තවත් සොරකම් නොකරත් වා. ඒ වෙනුවට දුගීන්ට උපකාර කළ හැකිවන සේ වෙහෙස මහන්සි දරා අවංක වැඩක් කරත් වා.</verse>
				<verse number="29">කිසි දූෂිත වචනයක් ඔබේ කටින් පිට වෙන්න ඉඩ නෑර, අසන්නන්ගේ වර්ධනය සඳහා අවස්ථාවෝචිත මනහර වචන කතා කරන්න.</verse>
				<verse number="30">ශුද්ධාත්මයාණන් වහන්සේට දුක් නොදෙන්න. මන්ද, මිදීමේ දවසට සූදානමක් වශයෙන් ඔබ ලබා ඇති, සහතිකයේ මුද්‍රාව උන් වහන්සේ ය.</verse>
				<verse number="31">තිත්තකම්, කෝපය, උදහස, කෝලාහල, අපහාස හා සියලු ආකාර ද්වේෂ පහ කරදමන්න.</verse>
				<verse number="32">එකිනෙකා කෙරෙහි කරුණාව ද දයානුකම්පාව ද ඇති ව සිට, දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ තුළින් ඔබට කමා කළාක් මෙන් ඔබත් එකිනෙකාට කමා කරන්න.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">ඔබ දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය දරුවන් වන බැවින්, උන් වහන්සේ මෙන් වන්නට උත්සාහ කරන්න.</verse>
				<verse number="2">ක්‍රිස්තුන් වහන්සේ අපට ප්‍රේම කොට, මිහිරි සුගන්ධ පූජාවක් ද යාගයක් ද හැටියට අප වෙනුවෙන් දෙවියන් වහන්සේට සිය ජීවිතය පරිත්‍යාග කළාක් මෙන්, ඔබත් ප්‍රේමයෙන් ජීවත් වන්න.</verse>
				<verse number="3">ඔබ දෙවියන් වහන්සේගේ සෙනඟ වන බැවින්, කාමමිථ්‍යාචාරය හෝ සියලු ආකාර අශිෂ්ටකම් හෝ තණ්හාව හෝ ඔබ අතර සඳහන් කිරීමවත් සුදුසු නැත.</verse>
				<verse number="4">අශික්ෂිත, මෝඩ කතා හා නීච කවටකම් යන මේවාත් සුදුසු නැත. ඒ වෙනුවට ස්තුති දීමේ වචන පවසන්න.</verse>
				<verse number="5">මේ දේ තරයේ සිතට ගන්න: කාමමිථ්‍යාචාරය කරන්නෙකුට වත්, අශිෂ්ට කෙනෙකුට වත්, ලෝභයෙකුට වත්, මෙවැනි රූප වන්දනාවන් කරන කෙනෙකුට වත්, ක්‍රිස්තුන් වහන්සේගේ ද දෙවියන් වහන්සේගේ ද රාජ්‍යයෙහි උරුමයක් නොලැබෙන්නේ ම ය.</verse>
				<verse number="6">පුහු තර්කවලින් ඔබ රවටන්ට කිසිවෙකුට ඉඩ නොදෙන්න. මන්ද, අකීකරුවූවන් පිට දේව උදහස පැමිණෙන්නේ මේ කාරණා නිසා ම ය.</verse>
				<verse number="7">එවැන්නන් සමඟ කිසි ම ගනු දෙනුවක් නොකරන්න.</verse>
				<verse number="8">මන්ද, වරක් ඔබ අන්ධකාරයෙහි සිටිය නමුත්, දැන් සමිඳාණන් වහන්සේ තුළ ආලෝකයෙහි සිටින්නහු ය.</verse>
				<verse number="9">ආලෝකයට අයිති දරුවන් මෙන් හැසිරෙන්න. ආලෝකයේ ප්‍රතිඵල නම්, සියලු ආකාර යහපත්කමත්, දමිටුකමත්, සැබෑකමත් ය.</verse>
				<verse number="10">සමිඳාණන් වහන්සේට ප්‍රිය මනාප දේ කුමක් දැ යි විමසා බලන්න.</verse>
				<verse number="11">අන්ධකාරයේ නිෂ්ඵල ක්‍රියාවලට හවුල් නොවී, ඒවා එළිකරන්න.</verse>
				<verse number="12">සැබැවින් ම ඔවුන් රහසිගත ව කරන දේ ගැන කතා කිරීම පවා පිළිකුලකි.</verse>
				<verse number="13">එහෙත් ආලෝකයෙන් එළි වන සියල්ලේ නියම ස්වභාවය සක්සුදක් සේ පැහැදිලි ව පෙනෙයි.</verse>
				<verse number="14">එසේ එළි වන දේ ආලෝකය බවට හැරේ. එබැවින් මෙසේ කියා ඇත: “නිදා සිටින ඔබ අවදි වන්න, මරණින් නැඟිටින්න, එවිට ක්‍රිස්තුන් වහන්සේ ඔබගේ ආලෝකය වන සේක.”</verse>
				<verse number="15">එබැවින් ඔබ ජීවත් වන පිළිවෙළ ගැන ඉතා සැලකිලිමත් වන්න. අඥානයන් මෙන් නොව, ඥානවන්තයන් මෙන් ජීවත් වන්න.</verse>
				<verse number="16">කාලය නපුරු බැවින්, ඇති හැම අවස්ථාවකින් ම ප්‍රයෝජන ගන්න.</verse>
				<verse number="17">එබැවින් අනුවණයන් නොවී, සමිඳාණන් වහන්සේගේ කැමැත්ත කිමෙක් ද කියා තේරුම්ගන්න.</verse>
				<verse number="18">මුද්‍රික පානයෙන් මත් නොවන්න. එයින් අනාචාරකම් හටගන්නේ ය. ඒ වෙනුවට ආත්මයාණන්ගෙන් පූර්ණ වන්න.</verse>
				<verse number="19">ගීතිකා, තුති ගී හා ශුද්ධ ගී එකිනෙකාට ගයන්න. ඔබ හදවත් තුළ තුති නද දෙමින් සමිඳුන්ට ගී ගයන්න.</verse>
				<verse number="20">අපගේ සමිඳාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන්, දෙවි පියාණන් වහන්සේට සෑම විට ම සෑම දේ ගැන ම, ස්තුති කරන්න.</verse>
				<verse number="21">ක්‍රිස්තුන් වහන්සේට ඇති ගෞරවය නිසා එකිනෙකාට යටත් වන්න.</verse>
				<verse number="22">භාර්යාවෙනි, ඔබ සමිඳාණන් වහන්සේට මෙන්, තම ස්වාමි පුරුෂයන්ට යටත් ව සිටින්න.</verse>
				<verse number="23">මන්ද, ක්‍රිස්තුන් වහන්සේ සභාවේ, එනම් උන් වහන්සේගේ ශරීරයේ, හිස වන්නාක් මෙන්, පුරුෂයා භාර්යාවගේ හිස ය. උන් වහන්සේ එම ශරීරයේ ගැළවුම්කාරයාණෝ වන සේක.</verse>
				<verse number="24">එබැවින් සභාව ක්‍රිස්තුන් වහන්සේට යටත් වන්නාක් මෙන්, භාර්යාවන් ද සියලු දේවල දී පුරුෂයන්ට යටත් විය යුතු ය.</verse>
				<verse number="25">පුරුෂයෙනි, ක්‍රිස්තුන් වහන්සේ සභාවට ප්‍රේම කොට සභාව වෙනුවෙන් සිය දිවි පුද කළාක් මෙන්, ඔබත් ඔබගේ භාර්යාවන්ට ප්‍රේම කරන්න.</verse>
				<verse number="26">උන් වහන්සේ එසේ කෙළේ, වචනය නමැති වතුරෙන් ද සභාව සෝදා පිරිසුදු කර, කැප කර,</verse>
				<verse number="27">එය තේජාන්විත සභාවක් වශයෙන් කැළලක් වත්, රැල්ලක් වත්, එබඳු කිසිවක් වත් නැති ව විශුද්ධ ව, නිකෙලෙස් ව, තමන්ට ම ප්‍රදානය කරගැනීමට ය.</verse>
				<verse number="28">එසේ ම පුරුෂයන් විසින් ද සිය භාර්යාවන්ට තම ශරීරයට මෙන් ප්‍රේම කටයුතු ය. සිය භාර්යාවට ප්‍රේම කරන තැනැත්තා තමාට ම ප්‍රේම කරගන්නේ ය.</verse>
				<verse number="29">කවරකුවත් කිසි ම කලෙක තමාගේ ශරීරයට ද්වේෂ කරගෙන නැත. එසේ නොව, ඔහු එය පෝෂණය කරගෙන ආරක්ෂා කරයි. ක්‍රිස්තුන් වහන්සේ සභාව ගැන සලකන්නේත් එසේ ම ය. මන්ද, එය උන් වහන්සේගේ ශරීරය වන බැවිනි.</verse>
				<verse number="30">අපි ඒ ශරීරයේ අවයවයෝ වෙමු.</verse>
				<verse number="31">මේ නිසා මිනිසෙක් තමාගේ පියා ද මව ද අත්හැර සිය භාර්යාවට ඇලුම් වන්නේ ය. ඒ දෙදෙන එක් කෙනෙක් වන්නෝ ය.</verse>
				<verse number="32">මෙය මහා අබිරහසකි. මට හැඟෙන පරිදි එය අදාළ වන්නේ ක්‍රිස්තුන් වහන්සේට සහ සභාවට ය.</verse>
				<verse number="33">එහෙත් එය පෞද්ගලික වශයෙන් ඔබටත් අදාළ වන්නේ ය. හැම පුරුෂයෙකු ම තමාට මෙන් තම භාර්යාවට ප්‍රේම කළ යුතු ය. හැම භාර්යාවක් ම තම ස්වාමි පුරුෂයාට ගෞරව දැක්විය යුතු ය.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">දරුවෙනි, ඔබේ දෙමවුපියන්ට සමිඳාණන් වහන්සේ තුළ කීකරු වන්න. එය ඔබගේ යුතුකම ය.</verse>
				<verse number="2">“ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න” යනු පොරොන්දුවක් ඇති පළමු වන ආඥාව ය.</verse>
				<verse number="3">එනම්, එසේ කිරීමෙන් ඔබට සෙත සැලසෙනු ඇත; ඔබ මිහි පිට බොහෝ කල් ජීවත් වනු ද ඇත යනුයි.</verse>
				<verse number="4">පියවරුනි, ඔබේ දරුවන් කෝප නොකරන්න. එසේ නොකර ඔවුන් සමිඳාණන් වහන්සේ තුළ විනයෙන් ද අවවාදයෙන් ද ඇතිදැඩි කරන්න.</verse>
				<verse number="5">දාසයෙනි, ඔබ ක්‍රිස්තුන් වහන්සේට මෙන්, මෙලොව ඔබේ ස්වාමිවරුන්ට අවංක සිතින්, බයාදුකමින් හා ගෞරවයෙන් සේවය කරන්න.</verse>
				<verse number="6">මිනිසුන් සතුටු කරන අදහසින් මූනිච්චාවට වැඩ නොකර, ක්‍රිස්තුන් වහන්සේගේ දාසයන් මෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත මුළු සිතින් ම කරන්න.</verse>
				<verse number="7">මනුෂ්‍යයන්ට සේවය කරන්නාක් මෙන් නොව, සමිඳාණන් වහන්සේගේ දාසයන් මෙන් ප්‍රසන්න සිතින් සේවය කරන්න.</verse>
				<verse number="8">දාසයෙක් හෝ නිර්දාසයෙක් හෝ වේවා, යමෙකු කරන යහපත් දේ අනුව දෙවියන් වහන්සේ ඔහුට විපාක දෙන බව මතක තබාගන්න.</verse>
				<verse number="9">ස්වාමිවරුනි, ඔබේ දාසයන්ටත් එලෙස ම සලකා, ඔවුනට තර්ජනය කිරීමෙන් වැළකෙන්න. ඔවුන්ටත් ඇත්තේ, මිනිසුන්ගේ තරාතිරම් නොබලන, ස්වර්ගයේ සිටින එක ම ස්වාමීන් බව මතක තබාගන්න.</verse>
				<verse number="10">අවසාන වශයෙන් සමිඳාණන් වහන්සේ තුළ ද උන් වහන්සේගේ ප්‍රබල ශක්තියෙහි ද බලවත් වන්න.</verse>
				<verse number="11">යක්ෂයාගේ සියලු උපායවලට විරුද්ධ ව සිටින්නට ඔබට පිළිවන් වන පිණිස දෙවියන් වහන්සේගේ සන්නාහයෙන් සන්නද්ධ වන්න.</verse>
				<verse number="12">මන්ද, අපගේ සටන, මිනිස් සතුරන්ට විරුද්ධ ව නොව, අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින සකල දුෂ්ට බලවේගයන්ට ද විරුද්ධ ව ය.</verse>
				<verse number="13">එබැවින් නපුරු දවස පැමිණි විට ඊට විරුද්ධ ව සිටින්න පුළුවන් වන පිණිසත්, කළහැකි හැම දෙයක් ම කර, ස්ථිර ව සිටින්න පුළුවන් වන පිණිසත්, දෙවියන් වහන්සේගේ සන්නාහයෙන් සන්නද්ධ ව සිටින්න.</verse>
				<verse number="14">එබැවින් ස්ථිර ව ඉන්න. ඔබගේ ඉඟටිය, සත්‍යය නමැති පටියෙන් බැඳ ගන්න. දමිටුකම නමැති ළයවැස්ම පැළඳගන්න.</verse>
				<verse number="15">සාම සුබ අස්න නමැති වහන් පය ලා සූදානම් ව සිටින්න.</verse>
				<verse number="16">තවද ඇදහිල්ල නමැති පලිහ ගන්න. එයින් නපුරාගේ සියලු ගිනිමය ඊතල මැඬලන්නට ඔබට හැකි වන්නේ ය.</verse>
				<verse number="17">ගැළවීම නමැති හිස් වැස්ම ද ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් වන දේව වචනය නමැති කඩුව ද ගන්න.</verse>
				<verse number="18">සෑමවිට ම, මුළු සිතින් යාච්ඤාවේ ද අයැදීමේ ද යෙදී සිටින්න. ආත්මයාණන් වහන්සේගේ බලයෙන් යාච්ඤා කරන්න. මේ කරුණ නිසා නිතර අවදි ව නොකඩ ව දෙවියන් වහන්සේගේ සියලු සෙනඟ උදෙසා, යාච්ඤා කරන්න.</verse>
				<verse number="19">සුබ අස්නේ අබිරහස ප්‍රකාශ කරන පිණිස, කතා කරන කොයි විටත්, නිර්භය ව එසේ කිරීමේ ශක්තිය මට ලැබෙන ලෙස යාච්ඤා කරන්න.</verse>
				<verse number="20">සිරගත ව සිටින මම, ඒ සුබ අස්න වෙනුවෙන් තානාපතියෙක් වෙමි. ඒ ගැන යුතු ලෙස අභීත ව කතා කිරීමට මට හැකි වනු පිණිස යාච්ඤා කරන්න.</verse>
				<verse number="21">මාගේ සුව දුක් ගැන ද වැඩ කටයුතු ගැන ද දැනගැන්මට ඔබ ආශාවෙන් සිටිනු ඇත. අපගේ හිතවත් සහෝදරයා ද සමිඳාණන් වහන්සේ තුළ විශ්වාසවත් සේවකයා ද වූ, තුකිකස් සියලු තොරතුරු ඔබට දන්වනු ඇත.</verse>
				<verse number="22">මා ඔහු ඔබ වෙතට එවන්නේ මේ සඳහා ම ය; අප ගැන ආරංචි ඔබට දෙන පිණිසත්, ඔබ ධෛර්යවත් කරන පිණිසත් ය.</verse>
				<verse number="23">පියාණන් වන දෙවියන් වහන්සේගෙන් ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද සහෝදරයන් හට සාමයත්, ප්‍රේමයත්, ඇදහිල්ලත් වේ වා!</verse>
				<verse number="24">අමරණීය ප්‍රේමයකින් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට ප්‍රේම කරන සියලු දෙනාට කරුණාව වේ වා!</verse>
			</chapter>
		</book>
		<book number="50">
			<chapter number="1">
				<verse number="1">ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ සේවකයන් වන පාවුලු ද තිමෝතියස් ද යන අපි, පිලිප්පියෙහි වසන සභා නායකයන් සහ උපස්ථායකවරුන් ඇතුළු සකල කිතුනු සැදැහැවතුන් වෙත ලියා එවමු.</verse>
				<verse number="2">අපගේ දෙවි පියාණන් වහන්සේගෙන් ද ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගෙන් ද කරුණාවත් ශාන්තියත් ඔබ හට වේ වා!</verse>
				<verse number="3">මට ඔබ සිහි වන සෑම විට ම මම මාගේ දෙවියන් වහන්සේට ස්තුති කරමි;</verse>
				<verse number="4">මා යාච්ඤා කරන සෑම විට ම, ඔබ සියලු දෙනා උදෙසා යාච්ඤා කරමින් ප්‍රීතියෙන් පිරී සිටිමි.</verse>
				<verse number="5">මා එසේ කරන්නේ පළමු දවස පටන් මේ වන තුරු ධර්මදූත සේවයට ඔබ සහභාගි වූ නිසා ය.</verse>
				<verse number="6">ඔබ තුළ යහපත් කාර්යයක් ඇරඹු උන් වහන්සේ, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ පැමිණීමේ දවස දක්වා එය සම්පූර්ණ කරනු ඇතැ යි මම ඒකාන්තයෙන් ම විශ්වාස කරමි.</verse>
				<verse number="7">ඔබ මට ඉතා හිතවත් බැවින් ද මා සිරගත ව සිටිය දී ද සුබ අස්න ගැන වගඋත්තර දීමේ දී හා එය ස්ථිර කිරීමේ දී ද මා ලැබූ දේව වරප්‍රසාදයන්ට ඔබ පංගුකාරයන් වූ බැවින් ද ඔබ හැම ගැන මා මෙසේ සිතීම යුතු ය.</verse>
				<verse number="8">ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ සෙනෙහසින් මා ඔබට සැබැවින් ම ප්‍රේම කරන බව දෙවියන් වහන්සේ දන්නා සේක.</verse>
				<verse number="9">ඔබ උදෙසා මාගේ යාච්ඤාව මේ ය: විශිෂ්ටතම දේවල් වටහාගැනීමට හැකි වන පිණිස, දැනගැන්මෙන් හා සියලු ආකාර විමසීමෙන් ඔබගේ ප්‍රේමය බොහෝසෙයින් වර්ධනය වේ වා.</verse>
				<verse number="10">ක්‍රිස්තුන් වහන්සේගේ දවස දක්වා අවංක ව හා නිදොස් ව සිටීමට ඔබට හැකි වේ වා.</verse>
				<verse number="11">ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ ගෞරවය හා ප්‍රශංසාව පිණිස ඔබ දැහැමි ජීවිතයක ඵලවලින් පූර්ණ වේ වා.</verse>
				<verse number="12">සහෝදරවරුනි, මට සිදු වූ කාරණා සුබ අස්නේ ම දියුණුවට හැරී තිබෙන බව ඔබට දන්වනු කැමැත්තෙමි.</verse>
				<verse number="13">මා සිරගත වීම ක්‍රිස්තුන් වහන්සේ නිසා වූ බව රාජකීය මුර සෙබළුන් ද සෙසු අය ද දැනගෙන ඇත.</verse>
				<verse number="14">මාගේ සිර අඩස්සි වීම හේතුකොටගෙන කිතුනු සහෝදරයන්ගෙන් වැඩි දෙනෙක් ධෛර්ය ලැබ දේව වචනය අභීත ව ප්‍රකාශ කිරීමට අධික ලෙස නිර්භීත ව සිටිති.</verse>
				<verse number="15">සමහරු ඊර්ෂ්‍යාවෙන් හා විරුද්ධ වාදිකමින් ද සමහරු හොඳ සිතින් ද ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කරති.</verse>
				<verse number="16">පසුව කී අය, මා සිරගත ව සිටින්නේ සුබ අස්න ආරක්ෂා කිරීමට බව දැන ප්‍රේමයෙන් ද</verse>
				<verse number="17">මුලින් කී අය, මා සිරගත ව සිටින විට වඩාත් කරදර ඇති කරවීමේ අදහසින්, අවංක ලෙස නොව, ආත්මාර්ථකාමී චේතනාවෙන් ද ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කරති.</verse>
				<verse number="18">කෙසේ වූවත් කමක් නැත. වංක ලෙස වේ වා, අවංක ලෙස වේ වා, හැම අයුරින් ම ක්‍රිස්තුන් වහන්සේ දේශනා කරනු ලබන බැවින් ඒ ගැන ප්‍රීති වෙමි. මතු ද ප්‍රීති වන්නෙමි.</verse>
				<verse number="19">ඔබගේ යාච්ඤා නිසා ද, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ආත්මයාණන්ගෙන් මට ලැබෙන ආධාරය නිසා ද, මේ කරුණු මාගේ නිදහසට ඉවහල් වන බව මම දනිමි.</verse>
				<verse number="20">මාගේ දැඩි බලාපොරොත්තුව හා පැතීම මෙය වේ: මා කිසිවක් ගැන ලජ්ජාවට නොපැමිණ, හැම අයුරින් ම නිර්භීත ව සිට, මැරෙතත්, ජීවත් වෙතත්, මාගේ ජීවිතයෙන්, පෙර සේ ම දැනුත් ක්‍රිස්තුන් වහන්සේ මහිමයට පැමිණවීම ය.</verse>
				<verse number="21">මට ජීවත් වීම නම්, ක්‍රිස්තුන් වහන්සේ උදෙසා ජීවත් වීම ය. මරණය මට වාසියකි.</verse>
				<verse number="22">එහෙත් මිහි පිට ජීවත්වීමෙන් යම් වැඩදායි සේවයක් කළ හැකි නම්, මේ දෙකින් කුමක් තෝරාගන්නට දැ යි මම නොදනිමි.</verse>
				<verse number="23">මම මේ දෙක මැද හිර වී සිටිමි. මාගේ ආශාව නම් මෙලොවින් තුරන් වී ගොස්, ක්‍රිස්තුන් වහන්සේ සමඟ විසීම ය. මෙය වඩාත් හොඳ ය.</verse>
				<verse number="24">එහෙත් ඔබ උදෙසා මිහි පිට විසීම ඊටත් වඩා අවශ්‍ය වේ.</verse>
				<verse number="25">මේ ගැන මට සහතික ය. එබැවින් මා ජීවතුන් අතර සිට, ඔබගේ ඇදහීමේ වර්ධනය හා ප්‍රීතිය සඳහා ඔබ සියල්ලන් සමඟ සිටින්නට යන බව මම දනිමි.</verse>
				<verse number="26">මෙලෙස, මා ඔබ වෙත නැවත පැමිණීම කරණකොටගෙන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ වැඩි වන ඔබගේ පාරට්ටුව මට ද භුක්ති විඳීමට හැකි වනු ඇත.</verse>
				<verse number="27">කෙසේ වෙතත්, ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්නට ඔබින ලෙස ම හැසිරෙන්න. එවිට ඔබ දැකීමට මා ආවත්, නාවත්, ඔබ ස්ථීර ව, එක්සත් ව සිටින බව ද, ඔබ හැම, එකෙකු මෙන් සුබ අස්නේ ඇදහිල්ල සඳහා වීර්ය කරන බව ද,</verse>
				<verse number="28">ඔබේ විරුද්ධවාදීන්ට අභීත ව මූණ පාන බව ද, ඇසීමට මට හැකි වනු ඇත. ඒ අභීතකම ඔවුන්ට විනාශයේ ලකුණක් ද ඔබට විමුක්තියේ ලකුණක් ද ලෙස දෙවියන් වහන්සේගෙන් ම පැමිණෙන්නේ ය.</verse>
				<verse number="29">මන්ද, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි අදහන්නට පමණක් නොව, උන් වහන්සේ උදෙසා දුක් විඳින්නටත් වරප්‍රසාදයක් ඔබට දෙන ලද්දේ ය.</verse>
				<verse number="30">වරක් මා යෙදී සිටි සටන ඔබ දුටුවහු ය. තවමත් මා ඒ සටනෙහි යෙදෙන බව ඔබ අසා ඇත. ඔබට ඇත්තේත් එම සටන ම ය.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">ක්‍රිස්තුන් වහන්සේට අයිති වීමෙන් ඔබට යම් ශක්තියක් තිබේ ද? ප්‍රේමයෙහි යම් අස්වැසිල්ලක් තිබේ ද? ආත්මයාණන් වහන්සේ සමඟ යම් සහභාගිකමක් තිබේ ද? එකිනෙකා කෙරෙහි ආදරයක් හා දයාබරකමක් තිබේ ද?</verse>
				<verse number="2">එසේ නම්, ඔබ එක සමාන චේතනා ඇති ව, එක ම ප්‍රේමයෙන් බැඳී, එක ම අරමුණකින් එක්සිත් ව සිටීමෙන් මාගේ ප්‍රීතිය සම්පූර්ණ කරන්න.</verse>
				<verse number="3">පක්ෂවාදීකමින් වත් පුහු මාන්නයෙන් වත් කිසිවක් නොකරන්න. එකිනෙකා තම තමාට වඩා අන් අය උතුම් යයි යටහත්කමින් සිතන්න.</verse>
				<verse number="4">සැමදෙන තම තමාගේ ම යහපත පමණක් නොසොයා, අනුන්ගේ යහපත ගැන ද සලකන්න.</verse>
				<verse number="5">ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ පැවති ජීවිතාකල්පය ම ඔබ තුළත් පවතී වා!</verse>
				<verse number="6">උන් වහන්සේ, දෙවියන් වහන්සේගේ ස්වරූපය දැරූ නමුත්, දෙවියන් වහන්සේ හා සමානත්වය තමන් විසින් බදාගෙන ම තබාගත යුතු වස්තුවකැ යි නොසිතා,</verse>
				<verse number="7">තමන් වහන්සේ ම ත්‍යාජ කරගනිමින්, වහලෙකුගේ ස්වරූපයක් ගෙන, අප හා සමාන මිනිස් කෙනෙක් වූ සේක.</verse>
				<verse number="8">මනුෂ්‍යාකාරයෙන් සිටිමින්, උන් වහන්සේ, මරණය, එනම් කුරුසියේ මරණය දක්වා, පහත් වී කීකරු වූ සේක.</verse>
				<verse number="9">එබැවින් දෙවියන් වහන්සේ උන් වහන්සේ අති උසස් තැනට නංවා, සියලු නාමයන්ට වඩා අග්‍ර නාමය උන් වහන්සේට දුන් සේක.</verse>
				<verse number="10">
					එසේ කළේ, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද, පාතාල ලෝකයෙහි ද සියල්ලන්, ‘ජේසුස්’ යන නාමයට දණ නමන පිණිසත්,
				</verse>
				<verse number="11">ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සමිඳාණන් වහන්සේ යයි දෙවි පියාණන් වහන්සේගේ මහිමය සඳහා, සෑම දිවකින් ම ප්‍රකාශ කරන පිණිසත් ය.</verse>
				<verse number="12">සැබැවින් මාගේ ප්‍රේමවන්තයෙනි, මා ඔබ වෙත සිටිය දී, ඔබ කීකරු ව සිටියාක් මෙන් ම, දැන් මා ඔබෙන් ඈත් ව සිටින විටත්, ඊටත් වඩා කීකරු ව සිටිය යුතු ය. ඔබ බියෙන් හා වෙව්ලීමෙන් යුතු ව ඔබේ විමුක්තිය සලසාගන්න.</verse>
				<verse number="13">මන්ද, ඔබ දෙවියන් වහන්සේගේ යහපත් කැමැත්තට අවනත වී, එය ඉෂ්ට කරවීමට උන් වහන්සේ ම ඔබ තුළ ක්‍රියා කරන සේක.</verse>
				<verse number="14">ඔබ කුමන දෙයක් කළත්, මැසිවිලි කීමක් වත් විවාදයක් වත් නැති ව එය කරන්න.</verse>
				<verse number="15">එවිට ඔබ නිදොස් හා අහිංසක වන්නහු ය. ඔබ වංක, හිතුවක්කාර පරම්පරාවක් මධ්‍යයෙහි, දෙවියන් වහන්සේගේ නිර්දෝෂ දරුවන් ව,</verse>
				<verse number="16">ඔවුන් අතර ජීවන පණිවුඩය ප්‍රදානය කරමින්, අඳුරු ලෝකයක දීප්තිමත් තාරකා මෙන් බබළන්නහු ය. ඔබ එසේ කළොත්, ‘මම නිෂ්ඵල ලෙස නොදිව්වෙමි, නිෂ්ඵල ලෙස වීර්ය නොකෙළෙමි’යි ක්‍රිස්තුන් වහන්සේගේ දවසේ දී ඔබ ගැන මට පාරට්ටු කරගත හැකි වේ.</verse>
				<verse number="17">ඔබගේ ඇදහිල්ල නමැති පූජාවත් සේවයත් මත මා ද පූජාවක් ලෙස ඔප්පු කරනු ලැබුවත් සන්තෝෂ වෙමි. ඔබ හැම සමඟ ප්‍රීති වෙමි.</verse>
				<verse number="18">එලෙස ම ඔබත් සන්තෝෂ වන්න, මා සමඟ ප්‍රීති වන්න.</verse>
				<verse number="19">ඔබ ගැන තොරතුරු අසා ධෛර්ය වත් වන පිණිස, ජේසුස් ස්වාමීන් වහන්සේ කැමැති සේක් නම් තිමෝතියස් ඔබ වෙත නොපමා ව එවීමට මම බලාපොරොත්තු වෙමි.</verse>
				<verse number="20">ඔබගේ යහපත ගැන අවංක සැලකිල්ලක් දක්වන, ඔහු වැනි වෙන තැනැත්තෙක් මට නැත.</verse>
				<verse number="21">සියල්ලෝම තම තමන්ගේ ම කාරිය ගැන මිස, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ කාරණා ගැන නොවෙහෙසෙති.</verse>
				<verse number="22">ඔහු නම්, පුත්‍රයෙකු සිය පියා හා සමඟ සේවය කරන්නාක් මෙන්, සුබ අස්නේ අභිවෘද්ධිය සඳහා මා සමඟ සේවය කළ බවට ඔහුගේ සාක්ෂිය ඔබ දන්නහු ය.</verse>
				<verse number="23">එබැවින් මාගේ කාරණා කොයි අතට හැරේ දැ යි දුටු කෙණෙහි ම ඔහු ඔබ වෙත එවීමට මම බලාපොරොත්තු වෙමි.</verse>
				<verse number="24">සමිඳාණන් වහන්සේ කැමැති සේක් නම් නොබෝ කලකින් මටත් ඔබ වෙතට එන්න ලැබෙනු ඇතැ යි මම විශ්වාස කරමි.</verse>
				<verse number="25">මා සොහොයුරු එපප්‍රොදිතස් ද ආපසු ඔබ වෙත එවීම මැනවැ යි මට කල්පනා වී ඇත. ඔහු වනාහි මට ආධාරෝපකාර කිරීමට ඔබ මා වෙත එවූ ඔබේ දුතයෙකු වන මාගේ සේවකයෙකු ද හවුල් හේවායෙකු ද වේ.</verse>
				<verse number="26">ඔහු ඔබ හැම දෙනා දැකීමට තද ආශාවක් ඇති ව සිටියේ ය, තමා රෝගාතුර ව සිටිය බව ඔබට සැළ වූ බැවින් ඉතා කණගාටු විය.</verse>
				<verse number="27">ඔහු සැබැවින් ම මරණාසන්න වන තරමට රෝගාතුර ව සිටියේ ය. එහෙත් දෙවියන් වහන්සේ ඔහුට කරුණා කළ සේක. ඔහුට පමණක් නොව, දුක පිට දුක මා වෙත නොඑන පිණිස මටත් කරුණා කළ සේක.</verse>
				<verse number="28">එබැවින් ඔබ ඔහු නැවත දැක ප්‍රීති වන පිණිසත්, මාගේ ශෝකය අඩු වන පිණිසත් ඔහු එවීමට වඩාත් ආශාවෙන් සිටිමි.</verse>
				<verse number="29">කිතුනු සහෝදර ප්‍රීතියෙන් ඔහු පිළිගන්න. එබඳු අය ගෞරවයෙන් සලකන්න.</verse>
				<verse number="30">මන්ද, ඔහු ක්‍රිස්තුන් වහන්සේගේ සේවය සඳහා දිවි පිදීමට පවා සූදානම් ව මරුමුවට ළඟා වූයේ ඔබ විසින් දීමට නොහැකි වූ සහාය මට දීමට යි.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">ඉතින් සහෝදරවරුනි, සමිඳාණන් වහන්සේ තුළ ප්‍රීතියෙන් පවතින්න. කලින් ඔබට කී දේ ම යළිත් සඳහන් කිරීම මට කරදරයක් නොවේ. ඔබේ පරෙස්සමටත් එය හොඳ ය.</verse>
				<verse number="2">බල්ලන් වැනි අයගෙන් ද ඔවුන්ගේ දුරාචාරකම්වලින් ද පරෙස්සම් වන්න. චර්මඡේදනය යයි කියා ශාරීරික ඡේදනයක් අදහස් කරන්නන්ගෙන් පරෙස්සම් වන්න.</verse>
				<verse number="3">නියම චර්මඡේදිතයෝ නම්, දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මඟින් උන් වහන්සේට නමස්කාර කරන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ පාරට්ටු කරගන්න, බාහිර වත්පිළිවෙත් පිට විශ්වාසයක් නොතබන අපි වම්හ.</verse>
				<verse number="4">ඕනෑ නම් මට බාහිර වත්පිළිවෙත් කෙරෙහි පවා විශ්වාසය තැබීමට පිළිවන. යමෙක් බාහිර වත්පිළිවෙත් කෙරෙහි විශ්වාසය තබන්නට පිළිවනැ යි සිතන්නේ නම්, මට ඊටත් වඩා එසේ කළ හැකි ය.</verse>
				<verse number="5">මම අට වන දා චර්මඡේදනය ලැබීමි; ඉශ්රායෙල් වංශයේ ද බෙන්ජමින් ගෝත්‍රයේ ද තැනැත්තෙක්මි; හෙබ්‍රෙව් පෙළපතින් එන නියම හෙබ්‍රෙව්වෙක්මි; ව්‍යවස්ථාව පිළිපැදීමෙන් නම් පරිසියෙක්මි;</verse>
				<verse number="6">උද්‍යෝගය අතින් නම් සභාවට පීඩා කළ තැනැත්තෙක්මි. ව්‍යවස්ථාවෙන් පැමිණෙන දමිටුකම අතින් නම් නිදොස් වූවෙක්මි.</verse>
				<verse number="7">එහෙත් මට වාසියක් ව තිබූ දේ ම, ක්‍රිස්තුන් වහන්සේ උදෙසා දැන් අවාසියකැ යි සිතන්නට පටන්ගතිමි.</verse>
				<verse number="8">එපමණකුත් නොවේ, මාගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ දැනගැන්මේ විශිෂ්ටතාව නිසා ඒ සියල්ල අවාසියකැ යි ගණන්ගනිමි. උන් වහන්සේ නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව, ඒ සියල්ල කුණු කසළ යයි සලකමි. මාගේ කැමැත්ත නම් ක්‍රිස්තුන් වහන්සේ අත්කරගැනීමත්,</verse>
				<verse number="9">උන් වහන්සේ හා ඒකාබද්ධ වීමත් ය; ව්‍යවස්ථාවෙන් වන මාගේ ම දමිටුකම නොව, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇදහීම කරණකොටගෙන ඇදහිල්ල නිසා, දෙවියන් වහන්සේගෙන් වන දමිටුකම ලබාගැනීම ය.</verse>
				<verse number="10">මට ඕනෑ එක ම දේ නම් ක්‍රිස්තුන් වහන්සේ හා උන් වහන්සේගේ පුනරුජ්ජීවනයේ බලය දැනගැනීම හා ක්‍රිස්තුන් වහන්සේගේ මරණයට සමාන වීමෙන් උන් වහන්සේගේ දුක්වේදනාවලට පංගුකාර වීමත්,</verse>
				<verse number="11">යම් අන්දමකින් මළවුන්ගෙන් උත්ථාන වීමට පැමිණීමත් ය.</verse>
				<verse number="12">මේ සියල්ල දැනට ම මට ලැබී තිබෙන බවක් වත්, දැනට ම මා සම්පූර්ණ වී සිටින බවක් වත් මම නොකියමි. යමක් පිණිස ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මා අත්කරගත් සේක් ද, ඒ දේ අත්කර ගැනීම පිණිස මමත් වීර්යයෙන් දුවමි.</verse>
				<verse number="13">සහෝදරයෙනි, මම තවමත් ඒ දේ අත්කරගෙන ඇතැ යි නොසිතමි. එක දෙයක් මට වැදගත් ය: පසුගිය දේ අමතක කරදමා, ඉදිරියෙහි තිබෙන දේ දෙස ම නෙත් යොමා,</verse>
				<verse number="14">ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මඟින් දෙවියන් වහන්සේ දෙන්නට අදහස් කරන ස්වර්ගීය ත්‍යාගය ලබන පිණිස දිනුම් කණුව කරා මම දුව යමි.</verse>
				<verse number="15">එබැවින් අප අතරෙන් මුහුකුරා ගිය අයවලුන් ඒකාකාර ව කල්පනා කළ යුතු ය. එහෙත් ඔබ යමක් ගැන වෙනස් ලෙස සිතන්නහු නම්, ඒ ගැනත් දෙවියන් වහන්සේ ඔබගේ සිත් පහදවනු ඇත.</verse>
				<verse number="16">කෙසේ වෙතත් අපි යම් තත්ත්වයකට පැමිණ සිටිමු ද ඒ තත්ත්වය අනුව හැසිරෙමු.</verse>
				<verse number="17">සහෝදරවරුනි, ඔබ හැම දෙන ම මා අනුගමනය කිරීමට එකඟ වන්න. අපි ඔබට ආදර්ශයක් වී සිටිමු. ඒ ආදර්ශය අනුව හැසිරෙන්නන් හොඳින් කල්පනාවට ගන්න.</verse>
				<verse number="18">මන්ද, මා බොහෝ වර ඔබට කියා ඇති ලෙසත්, දැන් කඳුළු හලමින් කියන ලෙසත්, බොහෝ දෙනෙක් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසියේ සතුරන් මෙන් හැසිරෙති.</verse>
				<verse number="19">ඔවුන්ගේ අවසානය විනාශය වේ; ඔවුන්ගේ දෙවියෝ මාංසික තෘෂ්ණාවෝ වෙති; ලජ්ජා විය යුතු දේ ගැන ඔව්හු පාරට්ටු කර ගනිති; ඔවුන්ගේ කල්පනාව මෙලො‍් දේ ගැන පමණ ය.</verse>
				<verse number="20">එහෙත් අපි ස්වර්ගයේ පුරවැසියෝ වම්හ; අප ගළවන පිණිස ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ස්වර්ගයෙන් වඩින තෙක් අපි බලා සිටිමු.</verse>
				<verse number="21">සියල්ල තමන්ට වසඟ කර ගැනීමට ඇති ස්වකීය බලය අනුව, දැනට අපට ඇති පහත්කමේ ශරීර, තමන් වහන්සේගේ තේජාන්විත ශරීරයට සමාන වන පිණිස, උන් වහන්සේ ඒවා, වෙනස් කරන සේක.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">එහෙයින් මාගේ ප්‍රේමවන්ත, හිතවත් සහෝදරවරුනි, මාගේ ප්‍රීතියත්, ඔටුන්නත් වන ප්‍රේමවන්තයෙනි, මෙසේ සමිඳාණන් වහන්සේ තුළ ස්ථීර ව සිටින්න.</verse>
				<verse number="2">අමනාපකම් ඉවත ලා, සමිඳාණන් වහන්සේ තුළ එක්සිත් වන ලෙස එවෝදියාගෙන් ද සින්තිකීගෙන් ද ඉල්ලමි.</verse>
				<verse number="3">එසේ ය, මේ ස්ත්‍රීවරුන්ට උපකාර කරන ලෙස මාගේ සැබෑ පංගුකාරයෙකු වන ඔබෙනුත් ඉල්ලමි. ඔව්හු ක්ලෙමෙන්ත් ද මාගේ අනෙක් හවුල් සේවකයන් ද ඇතුළු ව මා සමඟ සුබ අස්න සඳහා සේවය කළෝ ය. ඔවුන්ගේ නාම ජීවන පොතෙහි ලියා ඇත.</verse>
				<verse number="4">සමිඳාණන් වහන්සේ තුළ නිතර ම ප්‍රීති වන්න. ප්‍රීති වන්නැ යි නැවතත් කියමි.</verse>
				<verse number="5">ඔබගේ ගුණ යහපත්කම සියලු මනුෂ්‍යයන්ට දැනගන්නට ලැබේ වා. සමිඳාණන් වහන්සේ විගස වඩින සේක.</verse>
				<verse number="6">ඔබ කිසිවක් ගැන කරදර නොවී, සියල්ලෙහි දී ස්තුති පූර්වක ව, යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබගේ අයැදීම් දෙවියන් වහන්සේට දන්වන්න.</verse>
				<verse number="7">එවිට සියලු නැණනුවණ ඉක්මවා යන දෙවියන් වහන්සේගේ සාමදානය, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් ඔබගේ සිතුම් පැතුම් ආරක්ෂා කරන්නේ ය.</verse>
				<verse number="8">අවසන් කොට, සහෝදරවරුනි, සත්‍ය වූ හා උදාර වූ කොයි දේ ගැනත්, සාධාරණ වූ හා පිරිසිදු වූ කොයි දේ ගැනත්, ප්‍රිය වඩන හා මනහර කොයි දේ ගැනත් සදාචාරාත්මක යයි ප්‍රශංසනීය යයි සිතිය හැකි යමක් ඇද්ද, ඒවා ගැනත් සිත යොදවන්න.</verse>
				<verse number="9">ඔබ මාගෙන් ඉගෙනගත්, මා ඔබට භාරදුන්, මා කියනු ඇසූ, මා කරනු දුටු, සියල්ල ක්‍රියාවෙහි යොදවන්න. එවිට සාමදානයේ දෙවියන් වහන්සේ ඔබ සමඟ වන සේක.</verse>
				<verse number="10">බොහෝ කලකට පසු මා ගැන කල්පනා කිරීමට ඔබ නැවත පිබිදුණු බැවින් සමිඳාණන් වහන්සේ තුළ මම අතිශයින් ප්‍රීති වෙමි. කවදත් ඒ කල්පනාව ඔබ තුළ තිබිණි. එහෙත් එය පෙන්වීමට ඉඩප්‍රස්තාවක් නො වී ය.</verse>
				<verse number="11">මා මෙය කියන්නේ මට ඇති හිඟ කමක් නිසා නොවේ. මන්ද, මම කුමන තත්ත්වයක සිටියත් ඇති දෙයින් සතුටු වීමට ඉගෙනගෙන සිටිමි.</verse>
				<verse number="12">මම පහත් තත්ත්වයක සිටින්නට ද සමෘද්ධ ව, සිටින්නට ද දනිමි. මා කුමන තත්ත්වයක කොහි සිටියත් සෑහීමට පැමිණ සිටින්නටත්, සාගින්නෙන් සිටින්නටත්, සමෘද්ධ ව සිටින්නටත්, අගහිඟකම් ඇති ව සිටින්නටත් හැකි, රහස ඉගෙනගෙන සිටිමි.</verse>
				<verse number="13">මා බලවත් කරන තැනැන් වහන්සේ තුළ මට සියලු දේ කළ හැකි ය.</verse>
				<verse number="14">කෙසේ වුව ද, මාගේ පීඩාවල දී ඔබ මට උපකාර කිරීම කොතරම් හොඳ ද?</verse>
				<verse number="15">පිලිප්පිවරුනි, මාගේ ධර්මදූත සේවයේ මුල් අවදියේ දී මා මසිදෝනියෙන් නික්ම ගිය විට, ඔබ හැර අන් කිසි සභාවක් මගේ අය වැය සම්බන්ධයෙන් මට හවුල් නො වූ බව ඔබ ම දන්නහු ය.</verse>
				<verse number="16">තවද මා තෙසලෝනිකයේ සිටිය දී පවා මාගේ ඕනෑඑපාකම් පිරිමැසීමට කීප වරක් ඔබ මට මුදල් එව්වහු ය.</verse>
				<verse number="17">මා දීමනාව සොයනවා නොවේ. මා සොයන්නේ ඔබගේ ගිණුම අධික ලෙස වැඩි කරන විපාකය යි.</verse>
				<verse number="18">දැන් මට සියල්ල වුවමනාවටත් වැඩියෙන් ලැබී ඇති බවට සහතික කරමි. ඔබ එපප්‍රොදිතස් අත මා වෙත එවූ දේවල් ද ලබා පූර්ණ වී සිටිමි. ඒවා දෙවියන් වහන්සේට මිහිරි සුගන්ධයක් හා ප්‍රියමනාප පූජාවක් වී ඇත.</verse>
				<verse number="19">මාගේ දෙවියන් වහන්සේ, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ, ස්වකීය තේජාන්විත වස්තු සම්භාරය අනුව ඔබගේ සියලු අගහිඟකම් සපුරාලන සේක.</verse>
				<verse number="20">අපගේ පිය වූ දෙවියන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්.</verse>
				<verse number="21">ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ සියලු සැදැහැවතුන්ට ආචාර කරන්න. මා සමඟ සිටින සහෝදරයෝ ඔබට ආචාර කරති.</verse>
				<verse number="22">සියලු සැදැහැවත්හු ද, ප්‍රධාන කොට සීසර්ගේ රාජ භවනයේ සැදැහැවත්හු ද ඔබට ආචාර කරති.</verse>
				<verse number="23">ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ කරුණාව ඔබ සියල්ලන් සමඟ වේ වා!</verse>
			</chapter>
		</book>
		<book number="51">
			<chapter number="1">
				<verse number="1">දේව කැමැත්ත අනුව ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වන පාවුලු ද සහෝදර තිමෝතියස් ද යන අපි,</verse>
				<verse number="2">කොලොස්සියේ සිටින, ක්‍රිස්තියානි ඇදහිලිවන්ත සහෝදර සැදැහැවතුන් වෙත ලියා එවමු. අප පියාණන් වන දෙවියන් වහන්සේගෙන් කරුණාවත් ශාන්තියත් ඔබ හට වේ වා!</verse>
				<verse number="3">අපගේ යාච්ඤාවල දී, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වන දෙවියන් වහන්සේට, අපි ඔබ උදෙසා නොකඩව තුති දෙමු.</verse>
				<verse number="4">මන්ද, ඔබගේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඇති ඇදහිල්ලත්, සියලු සැදැහැවතුන් කෙරෙහි පවත්නා ඔබේ ප්‍රේමයත් ගැන අප අසා ඇති බැවිනි.</verse>
				<verse number="5">ඒ දෙකට හේතු වූ ඔබගේ ස්වර්ගීය බලාපොරොත්තුව ගැන පළමුවෙන් ඔබට අසන්නට ලැබුණේ, සත්‍ය සුබ අස්නේ දහම් පණිවුඩය ඔබ වෙත පැමිණි විට ය.</verse>
				<verse number="6">ඔබ වෙතට මෙන් ම මුළු ලෝකය වෙතට ද ඒ සුබ අස්න පැමිණ තිබේ. තවද, ඔබ එය අසා දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය නිසි පරිදි අවබෝධ කරගත් දා පටන්, එය ඔබ අතර පල දරා, වර්ධනය වූවාක් මෙන්, ලොව පුරා එය පල දරමින් වර්ධනය වන්නේ ය.</verse>
				<verse number="7">අපගේ ප්‍රේමවන්ත හවුල් දාසයෙකු ද ක්‍රිස්තුන් වහන්සේගේ විශ්වාසවන්ත සේවකයෙකු ද වන එපප්‍රස් අප වෙනුවෙන් ඒ සුබ අස්න ඔබට ඉගැන්වී ය.</verse>
				<verse number="8">ආත්මයාණන්ගෙන් වූ ඔබේ ප්‍රේමය ගැන අපට සැළ කෙළෙත් ඔහු ය.</verse>
				<verse number="9">මේ කරුණ නිසා, අපි එය ඇසූ දා පටන් ඔබ ගැන නොකඩව යාච්ඤා කෙළෙමු. සියලු ආකාර ප්‍රඥාව ද ලොව්තුරා ඥානය ද ලබා, ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත සම්පූර්ණ ලෙස අවබෝධ කරගෙන,</verse>
				<verse number="10">සමිඳාණන් වහන්සේට ඔබින ලෙසත්, ප්‍රිය මනාප වන ලෙසත් හැසිරෙන මෙන් යාච්ඤා කරමු. සියලු ආකාර යහපත් ක්‍රියාවලින් පලදායි වන මෙන් ද දෙවියන් වහන්සේ දැනගැන්මෙහි වැඩි වර්ධනය වන මෙන් ද යාච්ඤා කරමු.</verse>
				<verse number="11">ධෛර්යයෙන් ද ඉවසිල්ලෙන් ද ප්‍රීතියෙන් ද සියල්ල දරාගැනීමට දෙවියන් වහන්සේ ස්වකීය මහිමාන්විත බලපරාක්‍රමය අනුව සියලු ආකාර බලයෙන් ඔබ ශක්තිමත් කරන සේක් වා.</verse>
				<verse number="12">ආලෝකයේ වසන සැදැහැවතුන්ගේ උරුමයට පංගුකාරයන් වීමට ඔබ සුදුස්සන් කළ පියාණන් වහන්සේට ස්තුති කරන්න.</verse>
				<verse number="13">අන්ධකාරයේ බලයෙන් අප මුදා, තම ප්‍රේමාන්විත පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පැමිණෙව්වේ උන් වහන්සේ ය.</verse>
				<verse number="14">උන් වහන්සේ විමුක්තිය ද පව් කමාව ද අපට ප්‍රදානය කළ සේක.</verse>
				<verse number="15">ක්‍රිස්තුන් වහන්සේ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ දෘශ්‍යමාන ස්වරූපය ව, මුළු මැවිල්ලේ අගතැන් ගන්නා සේක.</verse>
				<verse number="16">මක්නිසා ද සිංහාසන වේවා, ස්වාමිකම් වේවා, අධිපතිකම් වේවා, බලපරාක්‍රම වේවා, ස්වර්ගවල සහ පොළොවෙහිත් ඇති පෙනෙන්නා වූ දේවල් ද නොපෙනෙන්නා වූ දේවල් ද යන සියල්ල උන් වහන්සේ තුළ මවන ලද්දේ ය; සියලු දේ උන් වහන්සේ කරණකොටගෙන ද උන් වහන්සේ උදෙසා ද මවා තිබේ;</verse>
				<verse number="17">උන් වහන්සේ සියල්ලට ම පළමුවෙන් සිටින සේක, සියල්ල ද උන් වහන්සේ තුළ පවතින්නේ ය.</verse>
				<verse number="18">උන් වහන්සේ සභාව නමැති ශරීරයේ හිස ය. එහි මූලාරම්භය ය. මරණයෙන් උත්ථාන වීමෙහි ප්‍රථමයාණෝ ය. මෙසේ උන් වහන්සේ සියල්ලෙහි අසමසම තැන දරන සේක.</verse>
				<verse number="19">මන්ද, දේව කැමැත්ත අනුව, දේවත්වයේ පරිපූර්ණතාවය ක්‍රිස්තුන් වහන්සේ තුළ විය.</verse>
				<verse number="20">උන් වහන්සේ කරණකොටගෙන මුළු විශ්වය ම තමන් හා සමඟි කරගැනීමට පියාණන් වහන්සේ සතුටු වූ බැවින්, කුරුසිය මත පුත්‍රයාණන්ගේ යාගික රුධිරය හේතුකොටගෙන සාමදානය ඇති කරමින්, උන් වහන්සේ කරණකොටගෙන සගලොවෙත් මෙලොවෙත් ඇති සියලු දේ සමඟි කළ සේක.</verse>
				<verse number="21">පසුගිය කාලයේ දී ඔබ දෙවියන් වහන්සේගෙන් ඈත් වී සිටියහු ය. ඔබේ නපුරු ක්‍රියා නිසා ඔබ උන් වහන්සේට සිතින් සතුරු ව සිටියහු ය.</verse>
				<verse number="22">එහෙත් දැන් දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන්ගේ ජීවිතය හා මරණය කරණකොටගෙන තමන් හට ඔබ සමඟි කරගත් සේක. එසේ කෙළේ ඔබ ශුද්ධ, නොකැළැල්, නිදොස් අය හැටියට දැන් උන් වහන්සේ ඉදිරියට පමුණුවාගැනීම සඳහා ය.</verse>
				<verse number="23">එය ඉටු වීමට නම්, ඔබ ඇදහිල්ලේ නිරත ව සිටිමින්, සුබ අස්නේ බලාපොරොත්තුවෙන් පිට නොගොස්, එය පදනම් කොටගෙන ස්ථීර ව පැවතිය යුතු ය. ඔබ ඇසූ සුබ අස්න අහසින් යට සැමදෙනට ම ප්‍රකාශ කර ඇත. පාවුලු නම් මම ඒ සුබ අස්නේ සේවකයෙක් වීමි.</verse>
				<verse number="24">ඔබ උදෙසා මා විඳින දුක් ගැන දැන් මම ප්‍රීති වෙමි. මගේ ඒ ශාරීරික දුක් විඳීම හේතුකොටගෙන, ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය වන සභාව උදෙසා උන් වහන්සේගේ දුක් විඳීමේ ඌනතා සම්පූර්ණ කිරීමට මම සහාය වෙමි.</verse>
				<verse number="25">මේ සභාවේ සේවකයෙකු වශයෙන් දෙවියන් වහන්සේ මා පත් කර, ඔබේ යහපත උදෙසා මට වගකීමක් භාර දුන් සේක. ඒ වගකීම නම්, දෙවියන් වහන්සේගේ පණිවුඩය සම්පූර්ණයෙන් ප්‍රකාශ කිරීම ය.</verse>
				<verse number="26">ඒ පණිවුඩය, යුග හා පරම්පරා ගණනාවක් තිස්සේ රහසක් ව සැඟවී තිබී, දැන් උන් වහන්සේ සැදැහැවතුන් හට එය අනාවරණය කර ඇත.</verse>
				<verse number="27">ඔවුන් හට එය අනාවරණය කරන ලද්දේ ඒ රහසේ තේජාන්විත සම්පත කුමක් දැ යි සකල ජාතීන්ට දන්වනු පිණිස ය. ඒ රහස නම්, ක්‍රිස්තුන් වහන්සේ ඔබ තුළ වැඩවිසීම ය. උන් වහන්සේ ඔබේ තේජාන්විත බලාපොරොත්තුව වන සේක.</verse>
				<verse number="28">අප ඒ ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ සියලු දෙනා ම පරිණත කිතුනුවන් වන පිණිස ය. ඒ සඳහා සියලු දෙනාට දැනමුතුකම් දෙමින් සියලු ආකාර ප්‍රඥාවෙන් අනුශාසනා කරමු.</verse>
				<verse number="29">මේ සඳහා, මා තුළ බලවත් සේ ක්‍රියා කරන ක්‍රිස්තුන් වහන්සේගේ බල මහිමයේ ප්‍රකාරයට දිරි දරමින් වීර්ය කරමි.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">ඔබ උදෙසාත්, ලවෝදීසයේ වැසියන් උදෙසාත්, පෞද්ගලික වශයෙන් මා නුදුටු සියල්ලන් උදෙසාත් මා කෙතරම් අධික ලෙස වෙහෙස මහන්සි දරනවා දැ යි ඔබට දන්වන්නට කැමැත්තෙමි.</verse>
				<verse number="2">මා එසේ කරන්නේ ඔවුන්ගේ සිත් ධෛර්යවත් වන පිණිසත්, ඔවුන් ප්‍රේමයෙන් එකට බැඳී සිටින පිණිසත්, අවබෝධයෙන් ඇති වන සම්පූර්ණ සහතිකකමේ සම්පත උරුම කරගෙන, දෙවියන් වහන්සේගේ රහස තේරුම්ගන්නා පිණිසත් ය. ඒ රහස ක්‍රිස්තුන් වහන්සේ ම ය.</verse>
				<verse number="3">උන් වහන්සේ තුළ ප්‍රඥාවේත් දැනගැන්මේත් සකල ධන සම්භාරය නිදන් වී ඇත.</verse>
				<verse number="4">මා මෙසේ කියන්නේ කිසිවකුගේ බොරු චාටුවලින් ඔබ මුළා නොවන පිණිස ය.</verse>
				<verse number="5">මම ශරීරාකාරයෙන් ඈත් ව සිටින නමුත්, ආධ්‍යාත්මයෙන් ඔබ සමඟ සිටිමින්, ඔබගේ විනයානුකූල හැසිරීමත්, ක්‍රිස්තුන් වහන්සේ තුළ ඇති ඔබගේ ඇදහිල්ලේ ස්ථීරකමත් දැක ප්‍රීති වෙමි.</verse>
				<verse number="6">එබැවින් ඔබ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ සමිඳාණන් වහන්සේ වශයෙන් පිළිගෙන තිබෙන බැවින් උන් වහන්සේ හා ඒකාබද්ධ වී ජීවත් වන්න.</verse>
				<verse number="7">උන් වහන්සේ තුළ මුල් ඇදගන්න පරිදි ස්ථීර ව සිටින්න; උන් වහන්සේ මත ඔබේ ජීවිත නිර්මාණය කරගන්න; ඔබට උගන්වන ලද ඇදහිල්ලේ පිහිටා සිටින්න. බෙහෙවින් තුති පුදන්න.</verse>
				<verse number="8">ක්‍රිස්තුන් වහන්සේගෙන් නොවන, මිනිස් සම්ප්‍රදායයන් හා ලෝක භූතාධිපතීන් පදනම්කොටගත් දර්ශනවාදවලින් හා සම්ප්‍රලාපවලින් උගුල් අටවන අයගෙන් පරිස්සම් වන්න.</verse>
				<verse number="9">මන්ද, ක්‍රිස්තුන් වහන්සේ තුළ, උන් වහන්සේගේ මිනිස් බවෙහි ම දේවත්වයේ පරිපූර්ණතාව වැඩ වාසය කරයි.</verse>
				<verse number="10">සකල භූතාධිපතීන්ට හා බලධාරීන්ට ඉහළින් පරමෝත්තම වන උන් වහන්සේ හා ඒකාබද්ධ වීමෙන් ඔබේ පූර්ණත්වය සැලසී ඇත.</verse>
				<verse number="11">උන් වහන්සේ හා ඒකාබද්ධ වීමෙන් ඔබ චර්මඡේදනය කරනු ලැබුවහු ය. ඒ වනාහි සැත්කමකින් කරන ලද චර්මඡේදනයක් නොව, මාංසික ක්ලේශයන් ඉවත් කිරීමේ චර්මඡේදනයකි. ක්‍රිස්තුන් වහන්සේගේ චර්මඡේදන පිළිවෙත එය යි.</verse>
				<verse number="12">මන්ද, බව්තීස්ම-ස්නාපනයේ දී ඔබ උන් වහන්සේ සමඟ වළලනු ලැබ, උන් වහන්සේ මරණයෙන් උත්ථාන කළ දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරී බලය තුළ ඇති විශ්වාසය කරණකොටගෙන ක්‍රිස්තුන් වහන්සේ සමඟ උත්ථාන කරනු ලැබුවහු ය.</verse>
				<verse number="13">ඔබ පව්කාරයන් නිසාත්, අචර්මඡේදිතයන් වූ නිසාත් මැරී සිටි නමුත්, දෙවියන් වහන්සේ ඔබ ක්‍රිස්තුන් වහන්සේ සමඟ ජීවත් කර ඔබේ සියලු පව් කමා කළ සේක.</verse>
				<verse number="14">අණපණත්වලට අප බැඳ තැබූ අපට අහිතකර ඇපකරය උන් වහන්සේ අවලංගු කළ සේක. එය කුරුසියේ ඇණ ගසා අපෙන් ඉවත් කළ සේක.</verse>
				<verse number="15">මෙලෙස උන් වහන්සේ භූතාධිපතීන් ද බලධාරීන් ද නිරායුධ කොට ඔවුන් ප්‍රසිද්ධියේ ජය පෙරහරින් ගෙන ගොස් ප්‍රදර්ශනය කළ සේක.</verse>
				<verse number="16">එබැවින් කෑම ගැන වත්, බීම ගැන වත්, මංගල දවසක් ගැන වත්, අමාවක දවසක් ගැන වත්, සබත් දවස් ගැන වත් ඔබ විනිශ්චය කරන්නට කිසිවෙකුට ඉඩ නොදෙන්න.</verse>
				<verse number="17">ඒවා පැමිණෙන්නට තිබුණු දේවල ඡායාවක් පමණි. ඒ දේවල යථා තත්ත්වය ක්‍රිස්තුන් වහන්සේ ය.</verse>
				<verse number="18">තපස් රැකීම නිසා හෝ දේවදූත වන්දනා මාන නිසා හෝ විශේෂ දර්ශන නිසා හෝ උඩඟු වූ කිසිවෙකුට, ඔබට හිමි තැනින් ඔබ පහ කිරීමට ඉඩ නොදෙන්න. එබඳු අය කෙලෙස් සිතින් බැඳී පුහු අභිමානයෙන් උද්දාම වී සිටිති.</verse>
				<verse number="19">ඔව්හු සභාවේ හිස වන ක්‍රිස්තුන් වහන්සේට සම්බන්ධ නොවෙති. එහෙත් ඇට කටු හා නහරවලින් ශරීරය ඒකාබද්ධ කොට, පෝෂණය කර, දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව එය වර්ධනය වන්නට සලසන්නේ ඒ හිස ය.</verse>
				<verse number="20">ඔබ ක්‍රිස්තුන් වහන්සේ සමඟ මැරී, ලෝකයේ භූතාධිපතීන්ගෙන් ජය ගත්තහු නම් තව ම ලෝකයට අයිති වූවන් මෙන් ජීවත් වෙමින්,</verse>
				<verse number="21">‘මේවාට අත නොගසනු’, ‘මේවා අනුභව නොකරනු’, ‘මේවා ස්පර්ශ නොකරනු’ යන නියෝග වලට යටත් වන්නේ මන් ද?</verse>
				<verse number="22">මනුෂ්‍යයා පැනවූ මේ නියෝග, භාවිතා කළ පසු කුණු වී යන දේ පිළිබඳ ව ය.</verse>
				<verse number="23">තමන් ම මවාගත් නමස්කාර ක්‍රම නිසාත්, ව්‍යාජ නිහතමානීකම නිසාත්, ශරීරයට වද දීම නිසාත්, බැලූ බැල්මට ඒ නියෝගවල වටිනාකමක් ඇති සේ පෙනුනත් මාංසික තෘෂ්ණා මැඬලීමට ඒවායින් කිසි රුකුලක් නොලැබේ.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">ඔබ ක්‍රිස්තුන් වහන්සේ සමඟ උත්ථාන කරනු ලැබූ බැවින්, දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩ හිඳින ක්‍රිස්තුන් වහන්සේ වැඩ සිටින තැන ඇති, ලොව්තුරු දේ ප්‍රාර්ථනා කරන්න.</verse>
				<verse number="2">ලෞකික දේ කෙරෙහි නොව, ලොව්තුරු දේ කෙරෙහි ඔබේ සිත යොමු කරන්න.</verse>
				<verse number="3">මන්ද, ඔබ මැරුණු බැවින් දැන් ඔබේ ජීවිතය ක්‍රිස්තුන් වහන්සේ සමඟ දෙවියන් වහන්සේ තුළ සැඟවී පවතියි.</verse>
				<verse number="4">අපේ ජීවනය වන ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ වන විට, ඔබත් උන් වහන්සේ සමඟ තේජසින් ප්‍රකාශ වනු ඇත.</verse>
				<verse number="5">එබැවින් කාමමිථ්‍යාචාරය, අපිරිසිදුකම, කාමරාගය, නපුරු තෘෂ්ණා සහ රූප වැඳීමක් වැනි තණ්හාව යන කාමුක දුසිරිත් නසාදමන්න.</verse>
				<verse number="6">මේ දේ නිසා අකීකරු වන අය පිට දේව උදහස පැමිණෙනු ඇත.</verse>
				<verse number="7">ඔබත් එක් කාලයක දී ඔවුන් මෙන් මේ දුසිරිත්වල ඇලීගැලී ජීවත් වූවහු ය.</verse>
				<verse number="8">එහෙත් දැන් ඔබ ඒ සියල්ල, එනම්, උදහස, කෝපය, කුඩුකේඩුකම, අපවාදය, අසභ්‍ය කතා මුලිනුපුටා දමන්න.</verse>
				<verse number="9">එකිනෙකාට බොරු නොකියන්න. මන්ද ඔබ පරණ ස්වභාවය එහි දුසිරිත් සමඟ ඉවත ලා,</verse>
				<verse number="10">අලුත් ස්වභාවයකින් සැරසී සිටින්නහු ය. දෙවියන් වහන්සේ පිළිබඳ සම්පූර්ණ දැනගැන්මට ඔබ පමුණුවන පිණිස, ඒ අලුත් ස්වභාවය එහි මැවුම්කාරයාණන්ගේ රූපය අනුව උන් වහන්සේ නිරන්තරයෙන් අලුත් කරන සේක.</verse>
				<verse number="11">ඒ අලුත් ජීවිතයෙහි ග්‍රීක ජුදෙව් කියා වත්, චර්මඡේදිත අචර්මඡේදිත කියා වත්, ම්ලේච්ඡ ශිෂ්ට කියා වත්, දාස නිර්දාස කියා වත් භේදයක් නැත. ඇත්තේ සියල්ලන් තුළ, සියල්ල වන, ක්‍රිස්තුන් වහන්සේ පමණෙකි.</verse>
				<verse number="12">එබැවින් දෙවියන් වහන්සේගේ තෝරාගත්, සැදැහැවත්, ප්‍රේමවන්ත අය වශයෙන්, දයානුකම්පාවෙන් ද කරුණාවෙන් ද නිහතමානිකමෙන් ද මෘදුකමෙන් ද ඉවසිලිවන්තකමෙන් ද සැරසී සිටින්න.</verse>
				<verse number="13">එකිනෙකා ගැන ඉවසමින් යමෙකුට විරුද්ධ ව පැමිණිල්ලක් ඇත්නම්, එකිනෙකාට කමා කරන්න. සමිඳාණන් වහන්සේ ඔබට කමා කළාක් මෙන් ඔබත් එකිනෙකාට කමා කළ යුතු ය.</verse>
				<verse number="14">මේ සියල්ලට ඉහළින්, සියල්ල සම්පූර්ණ ලෙස ඒකාබද්ධ කරන ප්‍රේමයෙන් සැරසෙන්න.</verse>
				<verse number="15">ක්‍රිස්තුන් වහන්සේගේ සාමය ඔබේ සිත් තුළ රජකම් කෙරේ වා! එක ම ශරීරයේ කොටස් වශයෙන් ඔබ කැඳවන ලද්දේ මේ සඳහා ය. කෘතඥතාව ද දක්වන්න.</verse>
				<verse number="16">ක්‍රිස්තුන් වහන්සේගේ දහම් පණිවුඩය ඔබ තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධ ව පවතීවා. එකිනෙකාට ඥානවන්ත ලෙස අවවාදානුශාසනා කරන්න. ගීතිකාවලින් ද ගායනාවලින් ද ශුද්ධ ගීවලින් ද සිතෙහි ස්තුතිවන්තකමින් ද දෙවියන් වහන්සේට ගායනා කරන්න.</verse>
				<verse number="17">තවද, ඔබ වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ කුමක් කරතත්, ඒ සියල්ල ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් කරමින් උන් වහන්සේ තුළින් දෙවි පියාණන් වහන්සේට ස්තුති කරන්න.</verse>
				<verse number="18">භාර්යාවෙනි, කිතුනුවන්ගේ යුතුකම ලෙස ඔබේ පුරුෂයන්ට යටත් ව සිටින්න.</verse>
				<verse number="19">පුරුෂයෙනි, රළු පරුෂ නොවී ඔබේ භාර්යාවන්ට ප්‍රේම කරන්න.</verse>
				<verse number="20">දරුවෙනි, සියලු කාරණාවල දී දෙමව්පියන්ට කීකරු වන්න. මන්ද, ඔබ එසේ කිරීම සමිඳාණන් වහන්සේට ප්‍රීතියකි.</verse>
				<verse number="21">පියවරුනි, ඔබේ දරුවන් කුපිත නොකරන්න. එසේ කළොත් ඔවුන් කලකිරෙනු ඇත.</verse>
				<verse number="22">දාසයෙනි, ඔබේ සමිඳාණන් වහන්සේට ගෞරව දැක්වීමක් වශයෙන් ඔබේ මෙලොව ස්වාමිවරුන්ට සියලු කාරණාවල දී කීකරු වන්න. මූණිච්චාවට ඔවුන් සතුටු කරන අදහසින් නොව, අවංක සිතින් සේවය කරන්න.</verse>
				<verse number="23">ඔබ කරන කොයි දෙයක් වුවත්, මනුෂ්‍යයන් උදෙසා නොව, සමිඳාණන් වහන්සේ උදෙසා කරන දෙයක් මෙන් මුළු සිතින් කරන්න.</verse>
				<verse number="24">සමිඳාණන් වහන්සේ පොරොන්දු වූ විපාකය ඔබට දෙන බව සිහි කරන්න. මන්ද, ඔබ සේවය කරන්නේ ඔබේ ස්වාමීන් වන ක්‍රිස්තුන් වහන්සේට ය.</verse>
				<verse number="25">වැරදි කරන්නා තමා කරන වැරදිවල පල විපාකය ලබන්නේ ය. දෙවියන් වහන්සේ මිනිසුන්ගේ තරාතිරම් නොබලන සේක.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">ස්වාමිවරුනි, ස්වර්ගයෙහි ඔබටත් ස්වාමිවරයෙකු සිටින බව සිතට ගෙන, ඔබේ දාසයන්ට යුතු ලෙස හා සාධාරණ ලෙස සලකන්න.</verse>
				<verse number="2">අවදිව, ස්තුතිවන්තකමෙන් යුක්ත ව නොකඩව යාච්ඤාවේ යෙදී සිටින්න.</verse>
				<verse number="3">ඒ සමඟ ම ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ අබිරහස ප්‍රකාශ කරන පිණිස දහම් පණිවුඩය දේශනා කරන්නට දෙවියන් වහන්සේ අපට දොරක් ඇර දෙන ලෙස යාච්ඤා කරන්න. මා දැන් හිරභාරයේ සිටින්නේ ඒ සඳහා ම ය.</verse>
				<verse number="4">හැකි පමණ පැහැදිලි ලෙස එය ප්‍රකාශ කිරීමට මට වරම් ලැබෙන සේ යාච්ඤා කරන්න.</verse>
				<verse number="5">ක්‍රිස්තියානි නොවන අය සම්බන්ධයෙන් සිහි නුවණින් ක්‍රියා කරන්න. ඒ සඳහා හැම අවස්ථාවකින් ම ප්‍රයෝජන ගන්න.</verse>
				<verse number="6">රස මුසු, සිත් පිණවන බසින් කතා කරන්න. හැම කෙනෙකුට නිසි පිළිතුරු දිය යුත්තේ කෙසේ දැ යි දැන ගන්න.</verse>
				<verse number="7">සමිඳාණන් වහන්සේගේ සේවයෙහි ප්‍රේමවන්ත සහෝදරයෙකු ද විශ්වාසවන්ත සේවකයෙකු ද හවුල් දාසයෙකු ද වන තුකිකස් මා ගැන සියලු තොරතුරු ඔබට දන්වනු ඇත.</verse>
				<verse number="8">ඔහු ඔබ වෙත එවන්නේ අප ගැන ආරංචි ඔබට දන්වා, ඔබේ සිත් ධෛර්යවත් කරන පිණිස ය.</verse>
				<verse number="9">ඔබේ ම කෙනෙකු වන, විශ්වාසවන්ත ප්‍රේමවන්ත සහෝදරයා වන ඔනේසිමස් ද, තුකිකස් සමඟ ඔබ වෙත එවමි. මෙහි තොරතුරු ඔවුන් ඔබට දන්වනු ඇත.</verse>
				<verse number="10">මා සමඟ එකට හිරකාරයෙකු ව සිටින අරිස්තාර්කස් ද බාර්ණබස්ගේ මස්සිනා වන මාක් ද ඔබට ආචාර කරති. මාක් සම්බන්ධයෙන් ඔබ උපදෙස් ලබා ඇත. ඔහු ඔබ වෙතට ආවොත් සාදරයෙන් පිළිගන්න.</verse>
				<verse number="11">යුස්තස් කියන ජේසුස් ද, එසේ ම ආචාර කරයි. චර්මඡේදිත ජුදෙව්වන්ගෙන් හැරුණු අය අතුරෙන් මේ තිදෙනා පමණක් මා සමඟ දෙවියන් වහන්සේගේ රාජ්‍යය උදෙසා සේවය කරති. ඔව්හු මට මහත් සැනසිල්ලකි.</verse>
				<verse number="12">ඔබේ ම කෙනෙකු වන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ දාසයෙකු වන, එපප්‍රස් ද ඔබට ආචාර කරයි. ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්තට සම්පූර්ණයෙන් ගැති ව, ස්ථීර අධිෂ්ඨානයෙන් සිටින පිණිස ඔහු ඉතා ඕනෑකමින් නොකඩව යාච්ඤා කරයි.</verse>
				<verse number="13">ඔහු ඔබ උදෙසාත් ලවෝදීසයෙහි හා හියරපොලිසෙහි සිටින්නන් උදෙසාත් බොහෝ සේ වෙහෙසෙන බවට මම පෞද්ගලික වශයෙන් සාක්ෂි දරමි.</verse>
				<verse number="14">අපේ හිතවත් ලූක් නම් වෛද්‍යවරයා ද දේමස් ද ඔබට ආචාර කරති.</verse>
				<verse number="15">ලවෝදීසයෙහි සිටින සහෝදරයන්ටත්, නිම්පාටත්, ඇගේ ගෙදර රැස් වන සභාවටත් ආචාර කරන්න.</verse>
				<verse number="16">මේ ලියුම ඔබ අතර කියවූ පසු ලවෝදීසයේ සභාවෙහි ද එය කියවන්නට සලස්වන්න. එසේ ම ලවෝදීසයෙන් ලැබෙන ලියුම ද ඔබ අතර කියවන්න.</verse>
				<verse number="17">“සමිඳාණන් වහන්සේ ඔබට පැවරූ සේවය සම්පූර්ණ කිරීමට වගබලාගන්නැ”යි අර්කිපස්ට කියන්න.</verse>
				<verse number="18">පාවුලු නම් මම, මාගේ ම අතින් මේ ආචාරය ලියමි. සිරගත වී සිටින මා සිහි කරන්න. ඔබට කරුණාව වේ වා!</verse>
			</chapter>
		</book>
		<book number="52">
			<chapter number="1">
				<verse number="1">පාවුලු ද සිල්වානස් ද තිමෝතියස් ද යන අපි, දෙවි පියාණන් වහන්සේට සහ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේට අයිති තෙසලෝනිකවරුන්ගේ සභාව වෙත ලියා එවමු. කරුණාව හා ශාන්තිය ඔබට වේ වා!</verse>
				<verse number="2">අපේ යාච්ඤාවල දී අපි නිතර ම ඔබ සිහි කරමින්, ඔබ ගැන දෙවියන් වහන්සේට තුති පුදමු.</verse>
				<verse number="3">අපගේ දෙවි පියාණන් ඉදිරියෙහි, ක්‍රියාවෙන් ප්‍රකාශ වන ඔබේ ඇදහිල්ල ද, සේවයෙන් දැක්වෙන ඔබේ ප්‍රේමය ද, ඉවසීමෙන් හෙළි වන අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළ වූ ඔබේ බලාපොරොත්තුව ද අපි සිහි කරමු.</verse>
				<verse number="4">දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය සහෝදරවරුනි, උන් වහන්සේ ඔබ තෝරාගත් බව අපි දනිමු.</verse>
				<verse number="5">මන්ද, අප සුබ අස්න ඔබ වෙත ගෙනාවේ වචන මාත්‍රයෙන් පමණක් නොව, ශුද්ධාත්ම බලය හා සහතික විශ්වාසය ඇතිව ය. ඔබගේ යහපත උදෙසා අපි ඔබ අතර කෙසේ ජීවත් වීමු දැ යි ඔබ දන්නහු ය.</verse>
				<verse number="6">ඔබ ද, බොහෝ දුක් විඳිමින්, ශුද්ධාත්මයාණන්ගෙන් වන ප්‍රීතිය ඇතිව පණිවුඩය පිළිගැනීමෙන්, අප ද සමිඳාණන් වහන්සේ ද අනුගමනය කරන්නෝ වූවහු ය.</verse>
				<verse number="7">මෙලෙස ඔබ මසිදෝනියෙහි සහ ග්‍රීසියෙහි සිටින සියලු ඇදහිලිවතුන්ට ආදර්ශයක් වූවහු ය.</verse>
				<verse number="8">මන්ද, ඔබ වෙතින් සමිඳාණන් වහන්සේගේ පණිවුඩයේ රාවය මසිදෝනියෙහිත් ග්‍රීසියෙහිත් පිළිරැව් දුන්නා පමණක් නොව, දෙවියන් වහන්සේ කෙරෙහි වූ ඔබේ ඇදහිල්ල සෑම තැන ම පතළ විය. මේ ගැන වැඩි යමක් කීම අවශ්‍ය නැත.</verse>
				<verse number="9">අප ඔබ වෙත පැමිණි විට ඔබ අප පිළිගත් ආකාරය ගැන ද, ජීවමාන වූ සත්‍ය වූ දෙවියන් වහන්සේට සේවය කරනු පිණිස ඔබ දේවතා වන්දනාවෙන් දෙවියන් වහන්සේ වෙතට හැරුණු අන්දම ගැන ද ඔව්හු ම කතා කරති.</verse>
				<verse number="10">තවද, මරණයෙන් උත්ථාන කරනු ලැබූ, පැමිණෙන්නට යන උදහසින් අප මුදන්නා වූ, තමන් වහන්සේගේ පුත්‍රයාණන් වූ ජේසුස් වහන්සේ ස්වර්ගයෙන් වඩිනු බලාපොරොත්තුවෙමින් ඔබ සිටින ආකාරය ගැන ද ඔව්හු කතා කරති.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">සහෝදරවරුනි, ඔබ වෙත අපේ පැමිණීම නිෂ්ඵල නුවූ බව ඔබ ම දන්නහු ය.</verse>
				<verse number="2">ඔබ දන්නා පරිදි, ඊට පෙර පිලිප්පියෙහි දී, අපි දුකට හා නිග්‍රහයට භාජනය වීමු. එහෙත් බොහෝ විරුද්ධවාදිකම්වලට මුහුණ පාමින් වුව ද, ඔබට සුබ අස්න දේශනා කිරීමට දෙවියන් වහන්සේ අප ධෛර්යවත් කළ සේක.</verse>
				<verse number="3">අපගේ අයැදීම මුළාවෙන් හෝ, අපිරිසුදු චේතනාවෙන් හෝ වන්නක් නොවේ. රැවටීමට උත්සාහයක් ද අප තුළ නැත.</verse>
				<verse number="4">එහෙත් ධර්මදූත සේවය පැවරීමට අප සුදුස්සන් යයි දෙවියන් වහන්සේ අප අනුමත කළ ලෙසින් ඒ අනුව අපි කතා කරමු. මිනිසුන් සතුටු කිරීමට නොව, නිතර ම අපගේ සිත් විමසන දෙවියන් වහන්සේ සතුටු කිරීමට උත්සාහ කරමු.</verse>
				<verse number="5">ඔබ දන්නා පරිදි අප කිසි කලෙක ඉච්ඡා වචන ව්‍යවහාර කළේත්, අපගේ තණ්හාව සැඟවීමට උපා යෙදුවේත් නැත. ඒ බවට දෙවියන් වහන්සේ සාක්ෂි දරන සේක.</verse>
				<verse number="6">අපි කිසි දිනක ඔබගෙන් හෝ, අන්‍යයන්ගෙන් හෝ, මනුෂ්‍ය ප්‍රශංසාව නොසෙව්වෙමු.</verse>
				<verse number="7">ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේරිතයන් මෙන් එසේ සෙවීමට අපට අයිතියක් තිබුණ නමුත් අපි එසේ නොකෙළෙමු. කිරි මවක් සිය දරුවන් මෘදු ලෙස පෝෂණය කරන්නාක් මෙන් අපි ඔබ අතරෙහි මෘදු ලෙස සිටියෙමු.</verse>
				<verse number="8">ඔබ අපට කෙතරම් ප්‍රේමාන්විත වූවහු ද යත්, දෙවියන් වහන්සේගේ සුබ අස්න දීමට පමණක් නොව, අපගේ ම ජීවිත පවා ඔබට දීමට සතුටු ව සිටියෙමු. ඔබ අපට එතරම් ප්‍රිය මනාප වූවහු ය.</verse>
				<verse number="9">මන්ද, සහෝදරවරුනි, අපි කෙතරම් වීර්යයෙන් හා වෙහෙස මහන්සියෙන් සේවය කළෙමු දැ යි ඔබට මතක ඇත. අපි ඔබෙන් කිසිවෙකුට බරක් නොවන පිණිස දිවා රෑ දෙක්හි රැකියාවක යෙදෙමින් දෙවියන් වහන්සේගේ සුබ අස්න ඔබට දේශනා කළෙමු.</verse>
				<verse number="10">ඇදහිලිවතුන් වන ඔබ අතරෙහි අපි කෙතරම් ශුද්ධ ව, දැහැමි ව, නිදොස් ව හැසුරුණෙමු ද කියා ඔබ පමණක් නොව දෙවියන් වහන්සේත් සාක්ෂි දරන සේක.</verse>
				<verse number="11">පියෙකු සිය දරුවන්ට සලකන පරිදි අප ඔබ ගැන සැලකූ හැටි ඔබ දන්නහු ය.</verse>
				<verse number="12">දෙවියන් වහන්සේගේ රාජ්‍යයටත් මහිමයටත් කැඳවනු ලැබූ ඔබ, උන් වහන්සේට ඔබින පරිදි ජීවත් වන ලෙස අපි ඔබ එකිනෙකාට අනුශාසනා කළෙමු, ධෛර්යය දුනිමු, ආයාචනා කළෙමු.</verse>
				<verse number="13">තවත් කරුණක් ගැන අපි දෙවියන් වහන්සේට නොකඩවා තුති පුදමු. දෙවියන් වහන්සේගේ පණිවුඩය අප ඔබ වෙත ගෙනා කල, ඔබ එය අසා පිළිගත්තේ මනුෂ්‍යයන්ගෙන් එන පණිවුඩයක් මෙන් නොව, ඇත්තෙන් ම දෙවියන් වහන්සේගෙන් ම එන පණිවුඩයක් හැටියට ය. මන්ද, අදහන ඔබ අතර ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේ ය.</verse>
				<verse number="14">සහෝදරවරුනි, ක්‍රිස්තියානි සහභාගිකමට ඇතුළත් ජුදයේ දෙවියන් වහන්සේගේ සභාවන්ට සිදු වූ දෙය ම ඔබටත් සිදු විය. ඔවුන් ජුදෙව්වරුන්ගෙන් පීඩා ලැබූ ලෙස ම ඔබත් ඔබගේ ම රටවැසියන්ගෙන් පීඩා ලැබුවහු ය.</verse>
				<verse number="15">ඒ ජුදෙව්වරු ජේසුස් ස්වාමීන් වහන්සේ ද, දිවැසිවරයන් ද මරණයට පත් කර, අප පලවා හැරියහ. ඔව්හු දේව කැමැත්තට පිටුපා සියලු මනුෂ්‍යයන්ට සතුරු ව සිටිති.</verse>
				<verse number="16">විජාතීන්ට ගැළවීම සලසන පණිවුඩය දේශනා කිරීම පවා අපට තහනම් කර ඇත. මෙසේ ඔව්හු තමන්ගේ පාපවල කෙළවරට ම පැමිණ සිටිති. අවසාන කොට, දැන් දේව උදහස ඔවුන් පිට පැමිණ තිබේ.</verse>
				<verse number="17">සහෝදරවරුනි, ටික කලකට අපි ඔබ ඇසින් නුදුටුවත්, සිතින් අමතක නොකෙළෙමු. ඒ කාලයේ දී ඔබගේ මුහුණ දැකීමට අපි ඉමහත් ආශාවකින් බොහෝ සේ උත්සාහ කෙළෙමු.</verse>
				<verse number="18">ඔබ වෙත පැමිණීමට අපි පුල පුලා සිටියෙමු. ඇත්තට ම, පාවුලු වන මම කීප වරක් ම උත්සාහ කෙළෙමි. එහෙත් සාතන් අපට බාධා කෙළේ ය.</verse>
				<verse number="19">අපගේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ ආගමනයේ දී, උන් වහන්සේ ඉදිරියෙහි අපගේ බලාපොරොත්තුවත්, ප්‍රීතියත් ප්‍රෞඪ කිරීටයත් කවරෙක් ද? ඔබ ම නොවන්නහු ද?</verse>
				<verse number="20">එසේ ය, ඔබ අපගේ ගෞරවයත් ප්‍රීතියත් ය.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">අපට එය තවත් ඉවසාගන්නට නොහැකි වූ බැවින් ඇතන්ස්හි නතර වීමට තීරණය කරගෙන,</verse>
				<verse number="2">අපි තිමෝතියස් එවීමු. ඔහු වනාහි අපගේ සහෝදරයා ද, ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න ප්‍රකාශ කිරීමේ දෙවියන් වහන්සේගේ හවුල් සේවකයා ද වේ. අප ඔහු එවූයේ මේ පීඩාවලින් කිසිවෙකු චංචල නොවන ලෙස, ඔබගේ ඇදහිල්ලෙහි ස්ථිර ව සිටීමට ඔබට ධෛර්ය දෙන පිණිස ය.</verse>
				<verse number="3">දුක් විඳීම අපට නියම දෙයක් බව ඔබ ම දන්නහු ය.</verse>
				<verse number="4">අපට දුක් විඳින්නට සිදු වන බව අපි ඔබ සමඟ සිටිය දී කල්තියා ඔබට කීවෙමු. එලෙස ම සිදු වූ බව ඔබ දන්නහු ය.</verse>
				<verse number="5">මේ කරුණ තවදුරටත් ඉවසාගත නොහැකි ව, පරීක්ෂාකාරයා සමහර විට ඔබ පරීක්ෂා කර, අපගේ සේවය නිෂ්ප්‍රභා කර ඇද්දැ යි බිය වී ඔබගේ ඇදහිල්ල ගැන සොයා බැලීමට ඔහු ඔබ වෙත එවීමි.</verse>
				<verse number="6">එහෙත් දැන් තිමෝතියස් පෙරළා අප වෙත පැමිණ ඔබගේ ඇදහිල්ලත් ප්‍රේමයත් ගැන හොඳ ආරංචියක් අපට සැළ කෙළේ ය. ඇරත්, අප ඔබ දැකීමට ආශාවෙන් සිටින්නාක් මෙන් ම ඔබත් අප දැකීමට ආශාවෙන් සිටින බව ද, ඔබ නිතර ම අප ගැන කරුණාවෙන් සිහි කරන බව ද ඔහු අපට දැන්වී ය.</verse>
				<verse number="7">සහෝදරවරුනි, අපගේ සියලු අමාරුකම්වලදීත් පීඩාවලදීත් ඔබගේ ඇදහිල්ල ගැන අසා අපි ධෛර්යවත් වීමු.</verse>
				<verse number="8">ඔබ සමිඳාණන් වහන්සේ තුළ ස්ථීර ව සිටින්නහු නම්, එය අපේ ජීවිතයේ පණ නළ වේ.</verse>
				<verse number="9">ඔබ නිසා අපට ලැබී ඇති සකල ප්‍රීතිය ගැන දෙවියන් වහන්සේ ඉදිරියෙහි අපි කෙසේ ස්තුති කර සෑහීමකට පත් වෙමු ද?</verse>
				<verse number="10">ඔබගේ මුහුණ දක්නා පිණිස ද, ඇදහිල්ලේ ඌනතා සම්පූර්ණ කරන පිණිස ද, දිවා රෑ දෙක්හි අපි අධික ලෙස යාච්ඤා කරමු.</verse>
				<verse number="11">අපගේ පිය වූ දෙවියන් වහන්සේ ම ද අපගේ ස්වාමීන් වූ ජේසුස් සමිඳාණන් වහන්සේ ද ඔබලා වෙතට එන්න අපට මාර්ගය සලස්වා දෙන සේක් වා!</verse>
				<verse number="12">අප ඔබට ප්‍රේම කරන්නාක් මෙන් සමිඳාණන් වහන්සේත් ඔබ එකිනෙකා කෙරෙහිත්, අන් සියල්ලන් කෙරෙහිත්, ඔබගේ ප්‍රේමය පිරී ඉතිරී යන්නට සලස්වන සේක් වා!</verse>
				<verse number="13">අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ සිය සැදැහැවතුන් සමඟ වඩින විට, ඔබගේ සිත් අපගේ දෙවි පියාණන් වහන්සේ ඉදිරියෙහි ශුද්ධ ව ද, නිදොස් ව ද තිබෙන ලෙස ශක්තිමත් කරන සේක් වා!</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">සහෝදරවරුනි, දෙවියන් වහන්සේ ප්‍රසන්න කිරීමට කෙසේ හැසිරිය යුතු දැ යි ඔබ අපගෙන් ඉගෙනගත්තහු ය. ඔබ එසේ හැසිරෙන්නහු ය. එහෙත් ඔබ වැඩි වැඩියෙන් එසේ කරන ලෙස, අපි සහකාර කිතුනුවන් වශයෙන් ඔබගෙන් ඉල්ලා අවවාද කරමු.</verse>
				<verse number="2">ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් අපි ඔබට කුමන අවවාද අනුශාසනා දුනිමු දැ යි ඔබ දන්නහු ය.</verse>
				<verse number="3">දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් ඔබ ශුද්ධ ව සිටීම ය; ඔබ කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකී සිටිය යුතු ය.</verse>
				<verse number="4">ඔබ එකිනෙකා තම තමාගේ ශරීරය දමනය කරගෙන එය ශුද්ධ ව ද, ගෞරවයෙන් යුක්ත ව ද, තබාගැනීමට දැනගත යුතු ය.</verse>
				<verse number="5">දෙවියන් වහන්සේ නොදන්නා විජාතීන් මෙන්, ඔබ කාම තෘෂ්ණාවෙහි ගැලී නොසිටිය යුතු ය.</verse>
				<verse number="6">මේ කාරණයේ දී කිසිවෙකු තම සහෝදරයා රවටා, වාසියක් නොගත යුතු ය. මන්ද, අප ඔබට කලින් කියා තදින් අවවාද කළ ලෙස, මෙබඳු අයට සමිඳාණන් වහන්සේ විපාක දෙන සේක.</verse>
				<verse number="7">දෙවියන් වහන්සේ අප කැඳෙව්වේ අපවිත්‍රකමට නොව, පවිත්‍රකමට ය.</verse>
				<verse number="8">එබැවින් මේ ඉගැන්වීම ප්‍රතික්ෂේප කරන්නා විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ මනුෂ්‍යයා නොව, ස්වකීය ශුද්ධාත්මයාණන් ඔබට ප්‍රදානය කරන දෙවියන් වහන්සේ ය.</verse>
				<verse number="9">එහෙත් සහෝදර ප්‍රේමය ගැන ඔබට ලියා එවීම වුවමනා නැත. කුමක් හෙයින් ද, එකිනෙකාට ප්‍රේම කිරීමට ඔබ දෙවියන් වහන්සේගෙන් ඉගෙනගෙන සිටින්නහු ය.</verse>
				<verse number="10">සැබැවින් ම ඔබ මසිදෝනිය මුළුල්ලෙහි සිටින සියලු සහෝදරයන්ට එසේ කරන්නහු ය. එහෙත්, සහෝදරවරුනි, තව වඩ වඩා ඉදිරියට යන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.</verse>
				<verse number="11">ඔබට අප කලින් අවවාද කළ පරිදි, උපශාන්ත ජීවිතයක් ගත කිරීමටත්, තම තමාගේ කාරණා බලාගැනීමටත්, දහඩිය මහන්සියෙන් ජීවිකාව කර ගැනීමටත් අරමුණු කරගන්න.</verse>
				<verse number="12">මෙසේ කිරීමෙන් ඔබට සභාවෙන් පිටත සිටින්නන්ගේ ගෞරවය දිනාගෙන, අන්‍යයන්ගේ පිහිටාධාර පිට නොරැඳී සිටීමට හැකි වේ.</verse>
				<verse number="13">සහෝදරවරුනි, මතු බලාපොරොත්තුවක් නැති සෙසු අය මෙන් ඔබ ශෝක නොවන පිණිස, මියගියවුන් ගැන ඔබ නොදැන සිටීම කිසිසේත් අපගේ කැමැත්ත නොවේ.</verse>
				<verse number="14">ජේසුස් වහන්සේ නැසී නැවත උත්ථාන වූ සේකැ යි අපි අදහමු: එසේ ම, ජේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරමින් උන් වහන්සේ තුළ සැතපුණු අය, උන් වහන්සේ මඟින් දෙවියන් වහන්සේ නැවත ගෙනෙන සේකැ යි ද අදහමු.</verse>
				<verse number="15">අප දැන් ඔබට කියන්නේ සමිඳාණන් වහන්සේ ම වදාළ කරුණකි. එනම්: සමිඳාණන් වහන්සේගේ ආගමනයේ දී ජීවත් ව සිටින අපට, උන් වහන්සේ තුළ සැතපුණු අයට නොමැති විශේෂ වාසියක් නැති බව ය.</verse>
				<verse number="16">මන්ද, සමිඳාණන් වහන්සේ ම අණ දීමේ ශබ්දය ද, අග්‍ර දේව දූතයෙකුගේ හඬ ද, දෙවියන් වහන්සේගේ හොරණෑ නාදය ද ඇතිව ස්වර්ගයෙන් බැස වදාරන සේක. ක්‍රිස්තුන් වහන්සේ අදහමින් උන් වහන්සේ තුළ සැතපුණු අය පළමුකොට නැඟිටින්නෝ ය.</verse>
				<verse number="17">එවිට ජීවතුන් අතර සිටින අපි, ඔවුන් සමඟ සමිඳාණන් වහන්සේ හමු වන පිණිස, වලාකුළුවලින් අහසට ඔසවාගනු ලබන්නෙමු. මෙසේ අපි නිතර ම සමිඳාණන් වහන්සේ සමඟ සිටින්නෙමු.</verse>
				<verse number="18">එහෙයින් මේ වචනවලින් එකිනෙකා සනසන්න.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">සහෝදරවරුනි, මේවා සිදුවෙන කාලවේලා හා අවස්ථා ගැන ඔබට ලියා එවීම අවශ්‍ය නැත.</verse>
				<verse number="2">මන්ද, රාත්‍රියෙහි පැමිණෙන සොරෙකු මෙන් සමිඳාණන් වහන්සේගේ දවස පැමිණෙන බව ඔබ ම හොඳ හැටි දන්නහු ය.</verse>
				<verse number="3">‘සාමය ඇත; අනතුරක් නැතැ’යි ඔවුන් කියන විට, ගැබිණියකට විළිරුජා පැමිණෙන්නාක් මෙන්, ක්ෂණික විනාශය ඔවුන් පිට පැමිණේ; ඔවුන්ට කිසි ගැළවීමක් නැත.</verse>
				<verse number="4">එහෙත්, සහෝදරවරුනි, ඔබ අන්ධකාරයේ නොසිටින නිසා, ඒ දවස සොරෙකු මෙන් ඔබ වෙත පැමිණීමට හේතුවක් නැත.</verse>
				<verse number="5">ඔබ සැම, ආලෝකයේ දරුවෝ ද, දිවා කාලයේ දරුවෝ ද වන්නහු ය; අපි රාත්‍රි කාලයේ වත්, අන්ධකාරයේ වත් දරුවෝ නොවන්නෙමු.</verse>
				<verse number="6">ඒ නිසා අපි, අන් අය මෙන් නිඳා නොසිට අවදි ව, සිහිකල්පනාව ඇතිව සිටිමු.</verse>
				<verse number="7">නිඳන්නන් නිඳන්නේ රාත්‍රියේ දී ය; මත් පැන් බොන්නන් මත් වන්නේ රාත්‍රියේ දී ය.</verse>
				<verse number="8">එහෙත් දවාලට අයිති අපි, සිහි කල්පනාව ඇතිව සිටිමු. ඇදහිල්ලත් ප්‍රේමයත් නමැති ළය වැස්ම ද, ගැළවීමේ බලාපොරොත්තුව නමැති යුද්ධ තොප්පිය ද පැළඳගනිමු.</verse>
				<verse number="9">දෙවියන් වහන්සේ අපට නියම කෙළේ දේව උදහස නොව, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන, ගැළවීම ලබාගැනීම ය.</verse>
				<verse number="10">අප අවදි ව සිටියත්, නිඳා සිටියත්, තමන් වහන්සේ සමඟ එක් ව ජීවත් වන පිණිස ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා මළ සේක.</verse>
				<verse number="11">එබැවින් ඔබ දැනට ම කරන්නාක් මෙන්, එකිනෙකාට ධෛර්ය දෙන්න, එකිනෙකා ශක්තිමත් කරන්න.</verse>
				<verse number="12">සහෝදරවරුනි, ඔබ අතර වෙහෙස මහන්සි දරන, ක්‍රිස්තියානි සභාවෙහි මූලිකත්වය දරන, ඔබට අවවාද අනුශාසනා කරන තැනැත්තන් නිසි ලෙස සලකන්න.</verse>
				<verse number="13">ඔවුන්ගේ සේවය නිසා ඔවුනට උසස් ම ගෞරවාදරය පිරිනමන ලෙස අපි ඔබගෙන් ඉල්ලමු. එකිනෙකා හා සමඟ සාමදානයෙන් සිටින්න.</verse>
				<verse number="14">සහෝදරවරුනි, අලසයන්ට අවවාද දෙන්න; බියසුල්ලන් දිරිගන්වන්න; දුබලයන්ට සහයවන්න. මේ සියල්ලන් ගැන ඉවසිලිවන්ත ව සිටින මෙන් අපි ඔබගෙන් උදක් ම ඉල්ලමු.</verse>
				<verse number="15">කිසිවෙකුට නපුරට නපුර නොකරන ලෙස ද, එකිනෙකා ගැනත්, සියල්ලන් ගැනත් නිතර ම යහපත් දේ කරන ලෙස ද වගබලාගන්න.</verse>
				<verse number="16">නිතර ම ප්‍රීති වන්න,</verse>
				<verse number="17">නොකඩව යාච්ඤා කරන්න,</verse>
				<verse number="18">සියල්ලෙහි දී ස්තුති දෙන්න. කිතුනුවන් වශයෙන් දෙවියන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වන්නේ මෙය වේ.</verse>
				<verse number="19">ශුද්ධාත්මානුභාවයට අවහිර නොකරන්න;</verse>
				<verse number="20">දිවැස් වැකි සුළු කොට නොතකන්න.</verse>
				<verse number="21">සියල්ල විමසා බලා, යහපත් දේ තදින් අල්ලාගන්න.</verse>
				<verse number="22">සියලු ආකාර නපුරෙන් වළකින්න.</verse>
				<verse number="23">සාමදානයේ දෙවියන් වහන්සේ ම ඔබ මුළුමනින් ම පවිත්‍ර කරන සේක් වා! ඔබගේ මුළු ආත්මය ද ප්‍රාණය ද ශරීරය ද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පුනරාගමනයේ දී නිදොස් ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේ වා!</verse>
				<verse number="24">ඔබ කැඳවන තැනැන් වහන්සේ විශ්වාසවන්ත ය; උන් වහන්සේ එය ඉෂ්ට කරනු නියත ය.</verse>
				<verse number="25">සහෝදරවරුනි, අප උදෙසා යාච්ඤා කරන්න.</verse>
				<verse number="26">සියලු සහෝදරයන්ට සාම සිඹීමකින් ආචාර කරන්න.</verse>
				<verse number="27">මේ හසුන සියලු සහෝදරයන් ඉදිරියෙහි කියවන ලෙස සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔබට අණ කරමි.</verse>
				<verse number="28">අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කරුණාව ඔබ සමඟ වේ වා!</verse>
			</chapter>
		</book>
		<book number="53">
			<chapter number="1">
				<verse number="1">පාවුලු ද සිල්වානස් ද තිමෝතියස් ද යන අපි, දෙවි පියාණන් වහන්සේට සහ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේට අයිති තෙසලෝනිකවරුන්ගේ සභාව වෙත ලියා එවමු.</verse>
				<verse number="2">දෙවි පියාණන් වහන්සේගෙන් ද ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගෙන් ද කරුණාව සහ ශාන්තිය ඔබට වේ වා!</verse>
				<verse number="3">සහෝදරවරුනි, ඔබ ගැන අප නිතර ම දෙවියන් වහන්සේට ස්තුති පිදිය යුතු යයි අපට තදින් හැඟේ. මන්ද, ඔබගේ ඇදහිල්ල පුදුමාකාරයෙන් වර්ධනය වන නිසාත්, ඔබ හැමගේ අන්‍යොන්‍ය ප්‍රේමය අධික වී තිබෙන නිසාත්, එසේ කිරීම යුතු ය.</verse>
				<verse number="4">ඔබගේ සියලු පීඩාවල දී හා ඔබ විඳින දුක්ගැහැටවල දී ඔබ දක්වන ඉවසීම හා ඇදහිල්ල ගැන දෙවියන් වහන්සේගේ සභාවල දී අපි ඔබ ගැන පාරට්ටු කරමු.</verse>
				<verse number="5">දෙවියන් වහන්සේගේ රාජ්‍යය වෙනුවෙන් දුක් විඳින ඔබ, ඒ රාජ්‍යයට සුදුස්සන් වන බැවින්, ඔබ සැබැවින් ම දෙවියන් වහන්සේගේ සාධාරණ විනිශ්චයේ ආදර්ශයකි.</verse>
				<verse number="6">දෙවියන් වහන්සේ යුක්තිය ඉටු කරමින්, ඔබට දුක් දෙන්නන්ට දුක ද,</verse>
				<verse number="7">දුක් විඳින ඔබට හා අපට සහනය ද දෙන සේක. මෙය සිදු වන්නේ ජේසුස් සමිඳාණන් වහන්සේ ස්වකීය බලසම්පන්න දූතයන් සමඟ ස්වර්ගයෙන් ප්‍රකාශ වන කල්හි ය.</verse>
				<verse number="8">එවිට ගිනි ජාලා ඇති වේ. දෙවියන් වහන්සේ අඳුනාගන්නේ නැති අයටත්, අපගේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ සුබ අස්නට කීකරු නොවන අයටත් උන් වහන්සේ දඬුවම් කරන සේක.</verse>
				<verse number="9">ඔව්හු සමිඳාණන් වහන්සේගේ අභිමුඛයෙන් ද, උන් වහන්සේගේ තේජාන්විත ප්‍රතාපයෙන් ද ඉවත් කරනු ලැබ, සදාතන විනාශයේ දඬුවම විඳින්නෝ ය.</verse>
				<verse number="10">මෙය සිදු වන්නේ උන් වහන්සේ සියලු සැදැහැවතුන්ගෙන් මහිමයත්, සියලු ඇදහිලිවතුන්ගෙන් ගෞරවයත් ලැබීමට පැමිණෙන ඒ දවසේ දී ය. අප ඔබ වෙත ගෙන ආ පණිවුඩය ඔබ ඇදහූ බැවින් ඔබත් ඒ ගණයට ඇතුළත් ය.</verse>
				<verse number="11">අප ඔබ ගැන නිතර ම යාච්ඤා කරන්නේ ඒ නිසා ය. දෙවියන් වහන්සේගේ කැඳවීමට ඔබ සුදුස්සන් වන ලෙසත්, උන් වහන්සේගේ බලයෙන් යහපතට ඇති ඔබේ ආශා සියල්ල ඉටු කර, ඇදහිල්ලේ ක්‍රියාවන් සම්පූර්ණ කරන ලෙසත්, අපි යාච්ඤා කරමු.</verse>
				<verse number="12">තවද අපගේ දෙවියන් වහන්සේගේ ද ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ ද වරප්‍රසාදය කරණකොටගෙන අපගේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමය ඔබ අතර ගෞරවයට පැමිණෙන පිණිස ද, ඔබ උන් වහන්සේගෙන් ගෞරවය ලබන පිණිස ද, අපි යාච්ඤා කරමු.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">සහෝදරවරුනි, අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ආගමනය ගැන ද උන් වහන්සේ හමුවෙහි අප එක් රැස් වීම ගැන ද දැන් අප කතා කළ යුතු ය.</verse>
				<verse number="2">සමිඳාණන් වහන්සේගේ දවස දැනට ම පැමිණ ඇතැ යි දැක්වෙන දිවැස් වැකියකින් හෝ, ආරංචියකින් හෝ, අපෙන් යයි කියන හසුනකින් හෝ, පහසුවෙන් වියවුල් නොවන හැටියටත්, නොකැළඹෙන හැටියටත්, අපි ඔබගෙන් උදක් ම ඉල්ලමු.</verse>
				<verse number="3">කිසිවෙකුට කිසිසේත් ඔබ රවටන්නට ඉඩ නාරින්න. මන්ද, ඇදහිල්ලෙන් වැටී යෑම ද, විනාශයේ පුත්‍රයා වන නොපනත්කමේ මනුෂ්‍යයා එළිදරව් වීම වන තුරු ද, ඒ දවස නොපැමිණේ.</verse>
				<verse number="4">ඔහු මිනිසුන් දෙවියන් කොට සලකන සියල්ලන්ට ද, මිනිසුන් නමස්කාර කරන සියල්ලන්ට ද විරුද්ධ ව සිට, ඒ හැමට වඩා තමා උසස් කරගනිමින්, දේව මාලිගාවෙහි වැඩහිඳ තමා දෙවියන් වහන්සේ යයි ප්‍රකාශ කරන්නේ ය.</verse>
				<verse number="5">මා ඔබ සමඟ සිටිය දී මේ කාරණා ඔබට කී බව මතක නැද් ද?</verse>
				<verse number="6">ඒ නොපනත්කමේ මනුෂ්‍යයා නියම කාලයේ දී ප්‍රකාශ වන පිණිස, දැනට ඔහු වළක්වාලන්නේ කිමෙක් දැ යි ඔබ දන්නහු ය.</verse>
				<verse number="7">නොපනත්කමේ අබිරහස දැනුදු එසේ ම ක්‍රියා කරයි. එහෙත් වළක්වා ලන තැනැත්තා ඉවත් කරනු ලැබුවායින් පසු, රහසිගත කිසිවක් නොපවතී.</verse>
				<verse number="8">එවිට නොපනත්කමේ මනුෂ්‍යයා එළිදරව් වේ. ජේසුස් ස්වාමීන් වහන්සේ ස්වකීය මුඛයේ හුස්මෙන් ඔහු නසා, උන් වහන්සේගේ ආගමනයේ තේජශ්‍රීයෙන් ඔහු වනසා ලන සේක.</verse>
				<verse number="9">නොපනත්කමේ මනුෂ්‍යයා සාතන්ගේ බලයෙන් යුක්ත ව පැමිණ, සියලු ආකාර ව්‍යාජ ප්‍රාතිහාර්ය ද අරුමපුදුම දේ ද ප්‍රබල ක්‍රියා ද කරන්නේ ය.</verse>
				<verse number="10">විනාශයට නියම වූ අය, ගැළවීම අත්කර දෙන සත්‍යය ප්‍රේමයෙන් නොපිළිගත් බැවින්, දුෂ්ට ලෙස රවටනු ලබන්නෝ ය.</verse>
				<verse number="11">ඔවුන් අසත්‍ය දේ විශ්වාස කරන පිණිස, ඔවුන් තුළ ක්‍රියා කිරීමට දෙවියන් වහන්සේ මුළාවේ බලය එවන සේක.</verse>
				<verse number="12">මෙසේ, සත්‍යය විශ්වාස නොකොට පාපයට ප්‍රිය කරන සියලු දෙන විනිශ්චය කරනු ලබති.</verse>
				<verse number="13">සමිඳාණන් වහන්සේගේ ප්‍රේමවන්ත සහෝදරවරුනි, අප නිතර ම ඔබ ගැන දෙවියන් වහන්සේට තුති පිදිය යුතු ය. මන්ද, ආත්මයාණන් විසින් ඔබ පිරිසිදු කරනු ලැබීමත්, සත්‍යය විශ්වාස කිරීමත් කරණකොටගෙන ඔබ ගැළවෙන පිණිස, දෙවියන් වහන්සේ ආරම්භයේ සිට ම ඔබ තෝරාගත් නිසා ය.</verse>
				<verse number="14">එසේ දෙවියන් වහන්සේ ඔබ කැඳෙව්වේ අප ඔබ වෙතට ගෙනා සුබ අස්න මඟින් ය. ඒ කැඳවීම ඔබ ලැබුවේ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මහිමයට ඔබ පංගුකාරයන් වන පිණිස ය.</verse>
				<verse number="15">එබැවින් සහෝදරවරුනි; ස්ථිර ව සිට, අපගේ දේශනා කිරීමෙන් හෝ අපගේ හසුනින් හෝ අප ඔබට ඉගැන්වූ සත්‍යයන් හොඳින් සිතට ගන්න.</verse>
				<verse number="16">අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ද, අපට ප්‍රේම කොට සදාතන ධෛර්යයත්, යහපත් බලාපොරොත්තුවත්, වරප්‍රසාදයත් මඟින් අපට දුන් අපගේ දෙවි පියාණන් වහන්සේ ද</verse>
				<verse number="17">ඔබගේ සිත් ධෛර්යවත් කර, සියලු යහපත් දේ කීමට ද කිරීමට ද ඔබ ශක්තිමත් කරන සේක් වා!</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">අවසන්කොට, සහෝදරවරුනි, ඔබ අතර සිදු වූ ලෙස ම අන් තැන්වලත් සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ශීඝ්‍ර ලෙස පැතිරී ගොස් ගෞරවයට පැමිණෙන පිණිස, අප උදෙසා යාච්ඤා කරන්න.</verse>
				<verse number="2">හිතුවක්කාර නපුරු මිනිසුන්ගෙන් අප ගැළවෙන පිණිස ද යාච්ඤා කරන්න. මන්ද, ඇදහීම සියල්ලන්ට ම ලැබී නැත.</verse>
				<verse number="3">එහෙත් සමිඳාණන් වහන්සේ විශ්වාසවන්ත ය. උන් වහන්සේ ඔබ ශක්තිමත් කොට නපුරාගෙන් ඔබ ආරක්ෂා කරන සේක.</verse>
				<verse number="4">තවද, අප ඔබට අණ කරන දේ ඔබ දැනටත්, මතුවටත් ඉටු කරනු ඇතැ යි සමිඳාණන් වහන්සේ ඔබ ගැන අපට සහතිකයක් දී ඇත.</verse>
				<verse number="5">සමිඳාණන් වහන්සේ ඔබගේ සිත් දෙවියන් වහන්සේගේ ප්‍රේමයටත්, ක්‍රිස්තුන් වහන්සේගෙන් වන ඉවසීමටත් පමුණුවන සේක් වා!</verse>
				<verse number="6">තවද, සහෝදරවරුනි, අපෙන් ලැබූ උපදෙස් අනුව නොව, අලසකමින් හැසිරෙන සියලු සහෝදරයන්ගෙන් වෙන් ව සිටින මෙන් අපගේ ජේසුස් ක්‍රිස්තුස් සමිඳාණන් වහන්සේගේ නාමයෙන් අපි ඔබට අණ කරමු.</verse>
				<verse number="7">අපේ ආදර්ශය ඔබ අනුගමනය කළ යුත්තේ කෙසේ දැ යි ඔබ ම දන්නහු ය. අප ඔබ අතර අලසකමින් හැසුරුණේ නැත.</verse>
				<verse number="8">අපි කිසිවෙකුගෙන් පිනට කෑම නොකෑවෙමු. ඔබෙන් කිසිවෙකුට බරක් නො වන පිණිස, අපි වෙහෙස මහන්සියෙන් දිවා රෑ දෙක්හි වැඩ කළෙමු.</verse>
				<verse number="9">අප මෙය කෙළේ ඔබෙන් ආධාර ලැබීමට අපට අයිතියක් නැති නිසා නොව, අනුගමනය කිරීම සඳහා ඔබට ආදර්ශයක් දෙන පිණිස ය.</verse>
				<verse number="10">“වැඩ නොකරන්නෝ ආහාර නොවළඳත් වා”යි අපි ඔබ අතර සිටිය දී පවා ඔබට අණ කෙළෙමු.</verse>
				<verse number="11">ඔබෙන් සමහරෙකු කිසි වැඩක් නොකර, අනුන්ගේ කාරණාවලට ඇඟිලි ගසමින් අලසකමින් හැසිරෙන බව අපට සැළ වී ඇත.</verse>
				<verse number="12">එබඳු අය සන්සුන් ලෙස වැඩ කොට, සිය දිවි පෙවෙත උපයාගන්නා ලෙස ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් අණ දී අවවාද කරමු.</verse>
				<verse number="13">එහෙත් සහෝදරවරුනි, ඔබ යහපත කිරීමට මැළි නොවන්න.</verse>
				<verse number="14">යමෙක් මේ හසුනේ සඳහන් අපගේ අවවාදවලට කීකරු නොවන්නේ නම් ඔහු සිතේ තබා ගෙන, ඔහු ලජ්ජාවට පමුණුවන පිණිස ඔහු ඇසුරු නොකරන්න.</verse>
				<verse number="15">එහෙත් ඔහු සතුරෙකු මෙන් නොසලකා, සහෝදරයෙකුට මෙන් ඔහුට දැනමුතුකම් දෙන්න.</verse>
				<verse number="16">සාමදානයේ සමිඳාණන් වහන්සේ ම, නිතර ම, සියලු අයුරින් ම ඔබට සාමදානය දෙන සේක් වා! සමිඳාණන් වහන්සේ ඔබ සියල්ලන් සමඟ වන සේක් වා!</verse>
				<verse number="17">හැම හසුනක ම මා අත්සන් තබන පරිදි, පාවුලු නම් මම, මාගේ ම අතින් මේ ආචාරය ලියා එවමි.</verse>
				<verse number="18">අප ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ කරුණාව ඔබ සියල්ලන් සමඟ වේ වා!</verse>
			</chapter>
		</book>
		<book number="54">
			<chapter number="1">
				<verse number="1">අපේ ගැළවුම්කාරයාණන් වන දෙවියන් වහන්සේගේ ද, අපේ බලාපොරොත්තුව වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ද නියෝගය පරිදි, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වන පාවුලුගෙන්, ඇදහිල්ලෙහි මාගේ සැබෑ දරුවෙකු වන තිමෝතියස් වෙතට ය.</verse>
				<verse number="2">දෙවි පියාණන් වහන්සේගෙන් ද, අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගෙන් ද, වරප්‍රසාදයත්, දයාවත්, ශාන්තියත් ඔබට වේ වා!</verse>
				<verse number="3">මා මසිදෝනියට යන විට ඔබට අවවාද කළ පරිදි ඔබ එපීසයේ නැවතී සිටින්න. මා එසේ කියන්නේ වැරදි ධර්ම ඉගැන්වීමෙන් ද,</verse>
				<verse number="4">ඇදහිල්ලෙන් ප්‍රකාශිත වූ දෙවියන් වහන්සේගේ සැලැස්ම සපුරාලනු වෙනුවට විවාද උපදවන, ඉමක් නැති මිථ්‍යා හා පෙළපත් කතා සැලකීමෙන් ද වළකින ලෙස, සමහරුන්ට ඔබ අවවාද දෙන පිණිස ය.</verse>
				<verse number="5">මේ අවවාදයේ අදහස නම්, පිරිසිදු සිතකින් ද, යහපත් හෘදය සාක්ෂියෙන් ද, අවංක ඇදහිල්ලෙන් ද නික්මෙන ප්‍රේමය වර්ධනය කිරීම යි.</verse>
				<verse number="6">සමහරු මේවායින් බැහැර ව නිරර්ථක විවාදවල නියැලී ඇත.</verse>
				<verse number="7">ඔවුන් විනයාචාරීන් වෙන්නට කැමැති වුවත්, තමන් කියන දේ ගැන වත්, උගන්වන කරුණු ගැන වත් ඔවුන්ට අවබෝධයක් නැත.</verse>
				<verse number="8">යමෙක් ව්‍යවස්ථාව නියම ලෙස භාවිත කරන්නේ නම්, ව්‍යවස්ථාව යහපත් බව අපි දනිමු.</verse>
				<verse number="9">ව්‍යවස්ථාව පනවා ඇත්තේ දමිටුවන් උදෙසා නොව, අදමිටුවන් හා දාමරිකයන් ද, අභක්තිකයන් හා පව්කාරයන් ද, අපිරිසිදුවූවන් හා ශුද්ධ දේ කෙලෙසන්නන් ද, පීතෘ ඝාතකයන් හා මාතෘ ඝාතකයන් ද, මිනීමරුවන් ද,</verse>
				<verse number="10">වේශ්‍යාකම් කරන්නන් ද, පුරුෂයන් සමඟ අනාචාරයෙහි හැසිරෙන්නන් ද, මිනිසුන් පැහැරගෙන යන්නන් ද, බොරුකාරයන් ද, බොරුවට දිවුරන්නන් ද,</verse>
				<verse number="11">මට භාර දෙන ලද ආශීර්වාදලත් දෙවියන් වහන්සේගේ මහිමාන්විත සුබ අස්න ප්‍රකාශ කරන සම්‍යක් ධර්මයට විරුද්ධ වූ අනෙකුත් හැම දේ කරන්නන් ද උදෙසා ය.</verse>
				<verse number="12">මා ශක්තිමත් කළා වූ ද, උන් වහන්සේගේ සේවය සඳහා පත් කිරීමට තරම් මා ඇදහිලිවන්ත යයි සැලකුවා වූ ද, අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේට මම ස්තුති කරමි.</verse>
				<verse number="13">පළමුවෙන් මම උන් වහන්සේට අපහාස කරන්නෙකු ව, පීඩා කරන්නෙකු ව, නින්දා කරන්නෙකු ව සිටිය නමුත්, නොදන්නාකමින් හා ඇදහිල්ල නැතිකමින් එසේ කළ ද මම දයාව ලැබුවෙමි.</verse>
				<verse number="14">අපේ සමිඳාණන් වහන්සේගේ වරප්‍රසාදය, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ වූ අපගේ ඇදහිල්ල ද ප්‍රේමය ද සමඟ අධික ලෙස මට දෙනලද්දේ ය.</verse>
				<verse number="15">පව්කාරයන් ගළවන්නට ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ලෝකයට වැඩිය සේක යන කීම විශ්වාසකටයුතු, සියල්ලන් විසින් පිළිගත යුතු කියමනකි. ඔවුන් අතරෙන් ප්‍රධාන පව්කාරයා මම ය.</verse>
				<verse number="16">එසේ වූ නමුත් මට දයාව ලැබුණේ මේ නිසා ම ය. එසේ කිරීමෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ඉවසීම අසීමිත බව උන් වහන්සේ පැහැදිලි කළ සේක. සදාතන ජීවනය ලබාගැනීම පිණිස උන් වහන්සේ කෙරෙහි අදහන සියල්ලන්ට ම මා ආදර්ශයක් වෙන්නට උන් වහන්සේ සැලැස් වූ සේක.</verse>
				<verse number="17">අමරණීය වූ, අදෘශ්‍යමාන වූ, සදාතන රජ වූ එක ම දෙවියන් වහන්සේට ගෞරවයත් මහිමයත් සදහට ම වේ වා! ආමෙන්.</verse>
				<verse number="18">තිමෝතියස්, මාගේ පුත්‍රය, ඔබ ගැන කලින් කියන ලද දිවැස් වැකි අනුව මේ වගකීම ඔබට භාර දෙමි.</verse>
				<verse number="19">එනම්, ඒ වාක්‍යයන් ආයුධ කොට ගෙන, ඇදහිල්ල ද නිදොස් හෘදය සාක්ෂියක් ද ඇති ව, ධර්ම යුද්ධය කරන්න. සමහරු මෙයට පිටුපා ගොස්, ඇදහිල්ල නමැති නැව බිඳ ගත්තෝ ය.</verse>
				<verse number="20">හිමෙනියස් ද අලෙක්සන්දර් ද එබඳු තැනැත්තෝ ය. ඔවුන් දේව අපහාස නොකරන පිණිස පාඩමක් වශයෙන් මම ඔවුන් සාතන් හට බාර දුනිමි.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">සියල්ලට ම ප්‍රථමයෙන්, සෑම දෙනා වෙනුවෙන් අයැදුම් ද යාච්ඤා ද ඉල්ලීම් ද ස්තුති දීම් ද ඔප්පු කළ යුතු බව මගේ අවවාදය යි.</verse>
				<verse number="2">භක්තියෙන් හා ගෞරවයෙන් යුක්ත ව, සාමකාමී තැන්පත් ජීවිතයක් අපට ගත කළ හැකි වන පිණිස, රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන් උදෙසා ද යාච්ඤා කළ යුතු ය.</verse>
				<verse number="3">මෙය මිදුම්කාර දෙවියන් වහන්සේ ඉදිරියෙහි යහපත් ය. ප්‍රසන්න ය.</verse>
				<verse number="4">සියලු මනුෂ්‍යයන්ගේ මිදීමත්, ඔවුන් සත්‍යය දැනගැනීමත් දෙවියන් වහන්සේගේ කැමැත්ත ය.</verse>
				<verse number="5">ඇත්තේ එක ම දෙවියන් වහන්සේ ය. දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් අතර වනුයේ එක ම මැදහත්කාරයෙකි. එනම්, මනුෂ්‍යයෙකු වූ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ය.</verse>
				<verse number="6">සියල්ලන්ගේ මිදීම පිණිස උන් වහන්සේ සිය දිවි පිදූ සේක. මෙසේ නියමිත කාලයේ දී උන් වහන්සේ සාක්ෂි දැරූ සේක.</verse>
				<verse number="7">ඒ පිළිබඳ දේශනාකාරයෙකු ද ප්‍රේරිතයෙකු ද ලෙස මා පත් කරනු ලැබුවේ විජාතීන්ට සත්‍ය ඇදහිල්ල උගන්වන පිණිස ය. මා මේ කියන්නේ බොරුවක් නොව සත්‍යයක් ම ය.</verse>
				<verse number="8">එහෙයින් පිරිමි පක්ෂය සෑම තැන්හි ම කෝපයෙන් හා වාදයෙන් තොර ව, සැදෑ සිතින් දොහොත් නඟා, යාච්ඤා කරන්නේ නම් මම කැමැති වෙමි.</verse>
				<verse number="9">එසේ ම, ස්ත්‍රී පක්ෂය කොණ්ඩ මෝස්තර ද, රන් මුතු අබරණ ද, මිල අධික වස්ත්‍ර ද යන මේවායින් වැළකී ඔබින, විනීත ඇඳුම් ඇඳගත යුතු යි.</verse>
				<verse number="10">ඔවුන්ගේ ආභරණය විය යුත්තේ භක්තිමත් ස්ත්‍රීන්ට ඔබින යහපත් ක්‍රියා කිරීම ය.</verse>
				<verse number="11">ස්ත්‍රීහු නිශ්ශබ්ද ව යටත්කමින් ඉගෙනගනිත් වා.</verse>
				<verse number="12">ඉගැන්වීමට වත් පුරුෂයා කෙරේ බලය දැක්වීමට වත් ස්ත්‍රියට මම ඉඩ නොදෙමි. ස්ත්‍රිය නිශ්ශබ්ද ව සිටිය යුතු යි.</verse>
				<verse number="13">මන්ද, ප්‍රථමයෙන් ආදම් ද පසුව ඒව ද මවනු ලැබූ හ.</verse>
				<verse number="14">තවද, ආදම් රැවටුණේ නැත, නමුත් ස්ත්‍රිය රැවටී වරදට පත් වූවා ය.</verse>
				<verse number="15">එහෙත් ඇදහිල්ලෙන් ද ප්‍රේමයෙන් ද ශුද්ධකමින් ද විනීත ලෙස ජීවත් වුවොත්, ඈ නිරුපද්‍රිතව දරුවන් ලබන්නී ය.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">යමෙක් සභාවේ නායක තනතුර දැරීමට ආශා වන්නේ නම්, ඔහු යහපත් වැඩක් කිරීමට කැමැති වන්නේ ය යන කීම සැබෑ වේ.</verse>
				<verse number="2">එහෙයින් සභා නායක තෙමේ නිදොස් චරිතයකින් යුත්, එක භාර්යාවක් ඇති පුරුෂයෙකු ද, තැන්පත්, සන්සුන්, ආචාර සම්පන්න, ආගන්තුක සත්කාරයට කැමැති, උගන්වන්නට සමර්ථ තැනැත්තෙකු ද විය යුතු යි.</verse>
				<verse number="3">ඔහු බීමත්කමින් තොර, හිංසාකාරී නො වූ ඉවසිලිවන්ත, සාමකාමී,</verse>
				<verse number="4">මුදල් තණ්හාව නොමැති, සිය පවුල මැනැවින් පාලනය කරන, තම දරුවන් ගෞරව සම්ප්‍රයුක්ත බියෙන් හික්මවා ගන්න, තැනැත්තෙකු විය යුතු යි.</verse>
				<verse number="5">යමෙක් තමාගේ ම පවුල හසුරුවාගන්නට නොදන්නේ නම්, ඔහු දෙවියන් වහන්සේගේ සභාවේ වගකීම දරන්නේ කෙසේ ද?</verse>
				<verse number="6">ඔහු ළඟ දී ක්‍රිස්තු භක්තිය වැළඳගත්තෙකු නොවිය යුතු යි. මන්ද, එවැන්නෙකු උඩඟුකමින්, යක්ෂයාට පැමිණි දඬුවමට පත් විය හැකි නිසා ය.</verse>
				<verse number="7">ඔහු සභාවෙන් පිට අය විසින් ගරු කොට සලකනු ලබන්නෙකු ද විය යුතු යි. එසේ නොවේ නම් ඔහු හොඳ නම නැති කරගෙන, යක්ෂයාගේ උගුලට අසු වන්නේ ය.</verse>
				<verse number="8">එසේ ම, උපස්ථායකයන් සන්සුන්, දිව දෙකේ කතා නැති, පමණ ඉක්මවා මත්පැන් පානය නොකරන, අයුතු ලාභයට ලොල් නො වූ,</verse>
				<verse number="9">ඇදහිල්ලේ අබිරහස පිරිසිදු හෘදය සාක්ෂියකින් දරන තැනැත්තන් විය යුතු ය.</verse>
				<verse number="10">උපස්ථායකයන් ලෙස සේවය කිරීමට ඉඩ දිය යුත්තේ, කලින් සෝදිසි කර බලා, ඔවුන්ට විරුද්ධ ව කිසිවක් නොමැති අයට පමණි.</verse>
				<verse number="11">එසේ ම ස්ත්‍රීවරුන් ද, ගෞරවය ලැබීමට සුදුසු වූ, ඕපාදූප නොකියන, තැන්පත්, විශ්වාස කටයුතු අය විය යුතු ය.</verse>
				<verse number="12">උපස්ථායකයා එක භාර්යාවක් ඇති පුරුෂයෙකු ද, සිය දරුපවුල මැනැවින් රැකබලාගන්නා වූ ද තැනැත්තෙකු විය යුතු ය.</verse>
				<verse number="13">යහපත් ලෙස සේවය කර, උසස් තත්ත්වයක් ලබාගන්නා උපස්ථායකයන්ට, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කෙරෙහි වූ ඇදහිල්ල තුළින් මහත් නිර්භීතකමක් ලබා ගැනීමට පුළුවන් වෙයි.</verse>
				<verse number="14">ඉක්මනින් ඔබ වෙත එන්නට බලාපොරොත්තු වෙමි. එහෙත් ඔබට මේ අනුශාසනා ලියා එවන්නේ</verse>
				<verse number="15">මා ප්‍රමාද වුණොත්, දෙවියන් වහන්සේගේ පවුලෙහි අය කෙසේ හැසිරිය යුතු ද කියා ඔබ දැනගන්නා පිණිස ය. ඒ පවුල වනාහි ජීවමාන දෙවියන් වහන්සේගේ සභාව ය; එය සත්‍යයේ කණුව හා මුල් ගල වේ.</verse>
				<verse number="16">අපේ ඇදහිල්ලේ අබිරහස නිසැක ව ම ගැඹුරු එකකි. ඒ අබිරහස මේ ය: උන් වහන්සේ මිනිසත්බව ගෙන, ආත්මයාණන් විසින් සහතික කරනු ලැබ, දූතයන්ට දිස් වූ සේක. විජාතීන්ට ප්‍රකාශ කරනු ලැබ, ලොව පුරා අදහාගනු ලැබ, මහිමයෙන් ඔසවනු ලැබූ සේක.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">පසු කාලවල දී සමහරුන්, මුළා කරවන භූතයනටත්, දුෂ්ටාත්මයන්ගේ ගුරුකම්වලටත් සවන් දී, ඇදහිල්ලෙන් වැටී යනු ඇතැ යි ආත්මයාණෝ නිසැක ව ම කියති.</verse>
				<verse number="2">එසේ වන්නේ යක්ෂයාගේ බොරුව නමැති සලකුණ හංවඩු ගසන ලද හෘදය සාක්ෂියක් ඇති අය තුළින් ය.</verse>
				<verse number="3">ඔව්හු විවාහය තහනම් දෙයක් බව කියති. කෑමවලින් වළකින ලෙස ද අවවාද කරති. එහෙත් දෙවියන් වහන්සේ ඒවා මැවූයේ, සත්‍යය දැනගත් සැදැහැවතුන් ස්තුති පූර්වක ව ඒවා භුක්ති විඳින පිණිස ය.</verse>
				<verse number="4">දෙවියන් වහන්සේ මවා ඇති සියල්ල ම යහපත් ය. ස්තුතිවන්ත ව පිළිගන්නවා නම්, කිසිවක් ප්‍රතික්ෂේප නොකළ යුතු ය.</verse>
				<verse number="5">මන්ද, ඒවා දේව වචනයෙන් ද යාච්ඤාවෙන් ද සංස්කාර කරනු ලබන්නේ ය.</verse>
				<verse number="6">මේවා සහෝදරයන්ට ප්‍රකාශ කරන්නෙහි නම්, ඔබ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ හොඳ සේවකයෙක් වන්නෙහි ය. එවිට ඔබ අනුගමනය කරන ඇදහිල්ලේ වචන ද සම්‍යක් ධර්මය ද ඉගැන්වීමෙන් පෝෂණය වන්නේ ය.</verse>
				<verse number="7">අභක්තික මිථ්‍යා කථා ද, මැහැලියන්ගේ ප්‍රලාප ද නොතකා, දේව භක්තිය සඳහා ව්‍යායාම කරන්න.</verse>
				<verse number="8">මන්ද, ශාරීරික ව්‍යායාමයෙන් ලැබෙන්නේ මඳ ප්‍රයෝජනයකි. එහෙත් දේව භක්තික ව්‍යායාම හැම අතින් ම ප්‍රයෝජනවත් වේ. කුමක් හෙයින් ද යත්, එය මෙලොව ජීවිතයටත් මතු ජීවිතයටත් බලාපොරොත්තු ඇති කරන හෙයිනි.</verse>
				<verse number="9">මෙය විශ්වාස කටයුතු, සියල්ලන් විසින් පිළිගත යුතු කීමකි.</verse>
				<verse number="10">අප වෙහෙස වන්නේත්, සටන් කරන්නේත්, සියලු මිනිසුන්ගේ, විශේෂයෙන් අදහන්නන්ගේ, මිදුම්කාර වූ ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙහි අපේ බලාපොරොත්තුව තබා තිබෙන නිසා ය.</verse>
				<verse number="11">ඔබේ ඉගැන්වීම්වල දී මේවා අණ කරන්න.</verse>
				<verse number="12">ඔබගේ තරුණකම නිසා ඔබ සුළු කොට සැලකීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න. ඔබේ කතාවෙන් ද හැසිරීමෙන් ද ප්‍රේමයෙන් ද ඇදහිල්ලෙන් හා පිරිසිදුකමින් ද අදහන්නන්ට ආදර්ශයක් වන්න.</verse>
				<verse number="13">මා එන තුරු ප්‍රසිද්ධියේ ශුද්ධ ලියවිලි කියවීමට ද අනුශාසනා කිරීමට ද ඉගැන්වීමට ද අවධානය යොමු කරන්න.</verse>
				<verse number="14">දිවැස් වැකි පැවසීමෙන් සභා මූලිකයන්ගේ අත්තැබීම ඇතුව ඔබට දෙන ලද ආත්මික වරම භාවිත කිරීම පැහැර නොහරින්න.</verse>
				<verse number="15">මෙය සිතට ගෙන ක්‍රියා කරන්න. එවිට ඔබේ දියුණුව කාටත් පෙනෙනු ඇත.</verse>
				<verse number="16">ඔබ ගැනත් ඔබේ ඉගැන්වීම ගැනත් සැලකිලිමත් වන්න. මේ දේවල නිරත ව සිටින්න. ඔබ මෙසේ කිරීමෙන් ඔබ ද ඔබට සවන් දෙන්නන් ද ගළවා ගන්නෙහි ය.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">වැඩිමහල්ලෙකුට සැරෙන් කතා නොකරන්න, පියෙකුට මෙන් ඔහුට අවවාද කරන්න. තරුණයන් සහෝදරයන් මෙන් ද,</verse>
				<verse number="2">වැඩිමහල් ස්ත්‍රීන් මවුවරුන් මෙන් ද තරුණියන් සහෝදරියන් මෙන් ද සෑම විට ම පිරිසිදු සිතින් සලකන්න.</verse>
				<verse number="3">ඇත්තට ම අසරණ ව සිටින වැන්දඹුවන් පිළිබඳ වගකීම භාරගන්න.</verse>
				<verse number="4">එහෙත් යම් වැන්දඹුවකට දරුවන් හෝ මුණුබුරන් හෝ ඇත්නම්, තම පවුල් වෙත යුතුකම් දැන ප්‍රථමයෙන් සිය දෙමවුපියන් පිළිබඳ යුක්තිය ඉෂ්ට කළ යුත්තෝ ඔව්හු ය. මන්ද, එය දෙවියන් වහන්සේට ප්‍රිය හෙයිනි.</verse>
				<verse number="5">එහෙත් ඇත්තෙන් ම අසරණ ව සිටින වැන්දඹුව දෙවියන් වහන්සේට කැප වී, දිවා රෑ දෙක්හි ආයාචනාවල ද යාච්ඤාවල ද යෙදෙයි.</verse>
				<verse number="6">කම්සැපෙහි ලොල් වූ තැනැත්තී, ජීවත් ව සිටිය දී ම මැරී සිටින්නී ය.</verse>
				<verse number="7">ඔවුන්ගේ ජීවිත නිදොස් වන ලෙස මේවා ඔවුන්ට සිහිපත් කරවන්න.</verse>
				<verse number="8">යමෙක් තමාගේ නෑයන්, විශේෂයෙන් තමාගේ පවුලේ අය, නොසලකා හරින්නේ නම්, ඔහු ඇදහිල්ල අත්හැර දැමූවෙකි; මිථ්‍යාදෘෂ්ටිකයෙකුට වඩා අයහපත් තැනැත්තෙකි.</verse>
				<verse number="9">වැන්දඹුවක ලෙස නාම ලේඛනයෙහි ඇතුළත් කළ යුත්තේ අවුරුදු හැටක් වත් වයසැති, එක ම පුරුෂයෙකුට භාර්යාව වී සිටි ස්ත්‍රියෙකි.</verse>
				<verse number="10">ඈ යහපත් ක්‍රියාවෙන් සාක්ෂි දැරීම ද, දරුවන් ඇතිදැඩි කිරීම ද ආගන්තුක සත්කාර කිරීම ද සැදැහැවතුන්ගේ පා සේදීම ද පීඩා විඳින්නන්ට උපකාර කිරීම ද සියලු ආකාර යහපත් ක්‍රියාවල යෙදීම ද පිළිබඳ ප්‍රසිද්ධියක් දරන තැනැත්තියක් විය යුතු යි.</verse>
				<verse number="11">එහෙත් යෞවන වැන්දඹුවන් නාම ලේඛනයෙහි ඇතුළත් නොකරන්න. ස්වාභාවික කාමතෘෂ්ණාවල බලපෑම නිසා, ක්‍රිස්තුන් වහන්සේගෙන් වෙන් වී, ඔවුන් නැවත විවාහයට පෙළඹෙන්නට පිළිවන.</verse>
				<verse number="12">මේ නිසා ඔව්හු පළමු පොරොන්දුව කඩකර වරදට පැමිණෙති.</verse>
				<verse number="13">තවද ඔව්හු, ගෙන්-ගෙට යමින් අලස වීමට පුරුදු වෙති. අලස වෙනවා පමණක් නොව, වාචාලකමින් අනුන්ගේ දේවලට ඇඟිලි ගැසීමට ද, නුසුදුසු දේ දෙඩීමට ද පුරුදු වෙති.</verse>
				<verse number="14">යෞවන වැන්දඹුවන් විවාහ වී දරුවන් ලබනවාටත්, ගේදොර රැකබලාගන්නවාටත් මම කැමැති වෙමි. එවිට නින්දා කිරීම සඳහා විරුද්ධවාදීන්ට කිසි ඉඩක් නොලැබේ.</verse>
				<verse number="15">මන්ද, දැනටමත් සමහරු අහක් වී සාතන් අනුව ගොස් සිටිති.</verse>
				<verse number="16">යම් කිසි ක්‍රිස්තු භක්තික ස්ත්‍රියකට, වැන්දඹු නෑදෑයින් ඇත්නම්, සභාවට වියදම් දරන්නට ඉඩ නොහැර, ඇය ඔවුන් නඩත්තු කළ යුතු ය. එවිට කාත් කවුරුනුත් නැති වැන්දඹුවන්ට උපකාර කරන්නට සභාවට පුළුවන් වේ.</verse>
				<verse number="17">යහපත් ලෙස මූලිකයන් වශයෙන් කටයුතු කරන සභාමූලිකයන්ට, එනම්, විශේෂයෙන් දේශනා කිරීමෙහිත්, ඉගැන්වීමෙහිත් වෙහෙස දරන අයට දෙගුණයක් වේතන ගෙවිය යුතු යි.</verse>
				<verse number="18">ගොයම් පාගන විට ගවයාගේ කට නොබැඳිය යුතු ය කියා ද, වැඩ කරන්නාට කුලියක් ලැබිය යුතු ය කියා ද, ශුද්ධ ලියවිල්ලේ සඳහන් කොට ඇත.</verse>
				<verse number="19">දෙතුන් දෙනෙකුගේ සාක්ෂි නැත්නම්, සභාමූලිකයෙකුට විරුද්ධ ව ඉදිරිපත් කරන කිසි ම චෝදනාවකට සවන් නොදෙන්න.</verse>
				<verse number="20">අන් අය භය වන පිණිස පව් කරන්නන්ට සියල්ලන් ඉදිරියෙහි තරවටු කරන්න.</verse>
				<verse number="21">කලින් ගත් තීරණයක් අනුව වත්, පක්ෂපාතකමින් වත් කිසිවක් නොකර, සාධාරණ ව ක්‍රියා කිරීම ඔබේ යුතුකමක් ලෙස දෙවියන් වහන්සේ ද ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ද තෝරාගත් දේව දූතයන් ද ඉදිරියෙහි ඔබට අණ කරමි.</verse>
				<verse number="22">ඉක්මන් වී කිසිවෙකු හස්තාලේපනය නොකරන්න; අනුන්ගේ වැරදිවලට පංගුකාරයෙක් නොවන්න; ඔබත් පිරිසිදු ව සිටින්න.</verse>
				<verse number="23">වතුර පමණක් නොබී, කෑම දිරවීම පිණිසත්, නිතර ඇති වන අසනීප ගතිය නිසාත්, මිදියුස ටිකක් භාවිතා කරන්න.</verse>
				<verse number="24">සමහරුන්ගේ වැරදි, විනිශ්චයක් කිරීමටත් පෙර, පැහැදිලි ය. එහෙත් සමහරුන්ගේ වැරදි, එළිදරව් වන්නේ පසු ව ය.</verse>
				<verse number="25">එසේ ම පැහැදිලි ව පෙනෙන යහපත් ක්‍රියා ද ඇත. එසේ නොපෙනුණත්, ඒවා සැඟවී තිබෙන්නට නොහැකි ය.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">වහල්කමට බැඳී සිටින සියලු දාසයෝ තම ස්වාමිවරුන්ට නිසි ගෞරවය දැක්විය යුත්තෝ ය. එසේ නොකළොත් දෙවියන් වහන්සේගේ නාමයටත් ඉගැන්වීමටත් අපහාස ඇති වෙයි.</verse>
				<verse number="2">කිතුනු ස්වාමිවරුන් ඇති දාසයෝ, ඔවුන් දෙගොල්ල ම සහෝදරයන් වන නිසා, තම ස්වාමිවරුන් සුළු කොට නොසැලකිය යුත්තෝ ය. එසේ නොකර, තමන්ගේ වැඩවලින් ප්‍රයෝජන ලබන ස්වාමිවරුන්ට ඔවුන් වඩාත් හොඳින් සේවය කළ යුතු ය. කවර හෙයින් ද? ඔවුන් ද තමන් ප්‍රේම කරන කිතුනුවන් වන බැවිනි. ඔබේ ඉගැන්වීම් වල දී මේ කාරණා තරයේ කියන්න.</verse>
				<verse number="3">යමෙක් වෙනස් ධර්මයක් උගන්වමින්, අපගේ වැඩදායක ධර්මය වන, අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වචනවලටත්, විශ්වාසවන්ත ඉගැන්වීමටත් විරුද්ධ ව යන්නේ නම්, ඔහු අඥානයෙකි;</verse>
				<verse number="4">උඩඟුකමින් පිරුණු තැනැත්තෙකි; ඔහු සෑම දේ ගැන සැක කිරීමෙන් ද, වචන ගැන ප්‍රශ්න කිරීමෙන් ද උමතු වූවෙකි. එයින් ඊර්ෂ්‍යාව ද කලහ ද අපහාසය ද කූට අවිශ්වාසය ද</verse>
				<verse number="5">මිථ්‍යා අදහස් ඇති, සත්‍යය නොදන්න, දේව භක්තිය ලාභයට මඟකැ යි සිතන මිනිසුන්ගෙන් කෙළවරක් නැති වාද විවාද ද උපදින්නේ ය.</verse>
				<verse number="6">ලද පමණින් සතුටු වීම සහිත දේව භක්තිය මහත් ලාභයකි.</verse>
				<verse number="7">අප මෙලොවට පැමිණියේ හිස් අතිනි. හිස් අතින් එය හැර යන්නට ද ඕනෑ ය.</verse>
				<verse number="8">කන්නට අඳින්නට ඇත්නම්, අපට සෑහෙයි.</verse>
				<verse number="9">ධනවත් වීමට ආශා වන්නෝ පරීක්ෂාවලටත්, උගුල්වලටත්, අසු වන්නෝ ය. නාස්තියටත්, විනාශයටත් පමුණුවන, නොයෙකුත් මෝඩ නිෂ්ඵල තෘෂ්ණාවන්ට ඔව්හු වසඟ වන්නෝ ය.</verse>
				<verse number="10">මුදල් තණ්හාව සැම නපුරට මුල ය. සමහරු මුදලට ආලය වී, ඇදහිල්ලෙන් වැටී, තමන්ට ම බොහෝ දරුණු ලෙස තුවාළ කරගත්හ.</verse>
				<verse number="11">එහෙත් දෙවියන් වහන්සේට කැපවූවකු වන ඔබ, මේ දේවලින් වැළකී සිටිය යුතු ය. දමිටුකමට ද භක්තිවන්තකමට ද ඇදහිල්ලට ද ප්‍රේමයට ද ඉවසිලිවන්තකමට ද ශාන්තදාන්තකමට ද, අවධානය යොමු කරන්න.</verse>
				<verse number="12">ඇදහිල්ල නමැති මහා ධාවනය වීර්යයෙන් දුවන්න. සදාතන ජීවනය අත් කරගන්න. ඔබ එයට කැඳවනු ලැබූයේ සාක්ෂිකාරයන් කීප දෙනෙකු ඉදිරියෙහි ඔබේ ඇදහීම නිර්භීත ලෙස සහතික කොට ප්‍රකාශ කළ විට ය.</verse>
				<verse number="13">සකල ජීවයට උල්පත වූ දෙවියන් වහන්සේ ද, පොන්තියුස් පිලාත් ඉදිරියෙහි ඇදහීම නිර්භීත ලෙස ප්‍රකාශ කළ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ද අබිමුවෙහි මා ඔබට භාර දෙන කටයුත්ත මෙය යි:</verse>
				<verse number="14">අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ආගමනය තෙක් මේ ආඥාව කිසි ම දෝෂයක් හෝ කැළලක් හෝ නැති ව පිළිපදින්න.</verse>
				<verse number="15">දෙවියන් වහන්සේ එම ආගමනය නියමිත කාලයේ දී එළිදරව් කරන සේක. උන් වහන්සේ වනාහි භාග්‍යවත්, අසහාය අධිපති, රාජාති රාජ, ස්වාමිවරුන්ගේ ස්වාමීන් වන තැනැන් වහන්සේ ය.</verse>
				<verse number="16">උන් වහන්සේ පමණක් අමරණීය ය. කිසිවෙකුට ළඟා විය නොහැකි ආලෝකයෙහි උන් වහන්සේ වසන සේක. කිසිවෙක් කිසි කලෙක උන් වහන්සේ දැක නැත; දකින්නටත් බැරි ය. උන් වහන්සේට ගෞරවයත්, සදාතන පරාක්‍රමයත් වේ වා! ආමෙන්.</verse>
				<verse number="17">උඩඟු නොවී, අස්ථිර ධනය කෙරෙහි නොව, සියල්ල අපට භුක්ති විඳීමට දෙන දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු තබන ලෙස මේ ලෝකයේ ධනවතුන්ට, අවවාද කරන්න.</verse>
				<verse number="18">ඔවුන් දැහැමි ක්‍රියාවල යෙදී සිටින ලෙස ද දැහැමි ක්‍රියාවලින් ධනවත් වන ලෙස ද, සියල්ල අනුන් හා සමඟ ත්‍යාගශීලී ව බෙදාගැනීමට ළැදි වන ලෙස ද අවවාද කරන්න.</verse>
				<verse number="19">මෙසේ කිරීමෙන් ඔව්හු අනාගතය සඳහා ස්ථිර පදනමක් වන ධන සම්භාරයක් රැස් කරගන්නෝ ය. එවිට ඔව්හු නියම සැබෑ ජීවනය ලබා ගන්නෝ ය.</verse>
				<verse number="20">තිමෝතියස්, ඔබට භාර දුන් දෙය ආරක්ෂා කරන්න. දැනුම ලෙස සැලකෙන මිථ්‍යාදෘෂ්ටික අදහස්වලින් ද අර්ථයක් නැති හිස් දෙඩවිලිවලින් ද පරස්පර විරෝධී මතවලින් ද වළකින්න.</verse>
				<verse number="21">එවැනි සමහරු ඇදහිල්ලෙන් ඈත් ව සිටිති. ඔබ හැමට කරුණාව වේ වා!</verse>
			</chapter>
		</book>
		<book number="55">
			<chapter number="1">
				<verse number="1">මේ හසුන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඉටු වී ඇති ජීවනයේ පොරොන්දුව ලෙස, දෙවියන් වහන්සේගේ කැමැත්ත හේතුකොටගෙන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වන පාවුලුගෙන්, ප්‍රේමවන්ත දරුවා වන තිමෝතියස් වෙතට ය.</verse>
				<verse number="2">දෙවි පියාණන් වහන්සේගෙන් ද, අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගෙන් ද වරප්‍රසාදයත්, දයාවත්, ශාන්තියත් ඔබට වේ වා!</verse>
				<verse number="3">මම දිවා රෑ දෙක්හි ම නිතර මාගේ යාච්ඤාවල දී ඔබ සිහි කරමින්, මාගේ මුතුන්මිත්තන් කළාක් මෙන් පිරිසිදු හෘදය සාක්ෂියකින් මා සේවය කරන දෙවියන් වහන්සේට ස්තුති කරමි.</verse>
				<verse number="4">ඔබේ කඳුළු සිහි කර මාගේ ප්‍රීතිය සම්පූර්ණ කරගැනීම පිණිස මම ඔබ දකින්නට ආශාවෙමි. ඔබ තුළ තිබෙන අවංක ඇදහිල්ල මට සිහි වෙයි.</verse>
				<verse number="5">ඒ ඇදහිල්ල ප්‍රථමයෙන් ඔබේ ආච්චි වූ ලොයිස් කෙරෙහි ද, ඔබේ අම්මා වූ යූනිස් කෙරෙහි ද පිහිටියේ ය. ඔබ තුළත් එය ඇති බව මම විශ්වාස කරමි.</verse>
				<verse number="6">ඒ නිසා මාගේ හස්තාලේපනය හේතුකොටගෙන ඔබ කෙරෙහි තිබෙන දෙවියන් වහන්සේගේ දීමනාව ගිනි දැල්ලක් සේ දල්වාගන්නා ලෙස ඔබට සිහි කරවමි.</verse>
				<verse number="7">දෙවියන් වහන්සේ අපට දුන්නේ, බයාදු ගතිය නොව, බලසම්පන්න, ප්‍රේමාන්විත, හික්මුණු ආත්මානුභාවය ය.</verse>
				<verse number="8">එහෙයින් අපේ සමිඳාණන් වහන්සේ උදෙසා සාක්ෂි දැරීම ගැනත්, උන් වහන්සේගේ සිරකරුවා වන මා ගැනත්, ලජ්ජා නොවන්න. එහෙත් දෙවියන් වහන්සේගේ බලය කෙරෙහි විශ්වාසය තබා, සුබ අස්න වෙනුවෙන් දුක් විඳීමෙහි පංගුකාරයෙක් වන්න.</verse>
				<verse number="9">උන් වහන්සේ අප ගළවා, කැපවූ ජීවිතයකට අප කැඳවූ සේක. එසේ කළේ අපේ ම පුණ්‍ය ක්‍රියාවක් නිසා නොව, උන් වහන්සේගේ ම අභිප්‍රායත් දේව වරප්‍රසාදයත් අනුව ය. මෙය, කාලයාගේ පටන්ගැන්මට පෙර ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ විසින් දෙනලද්දකි.</verse>
				<verse number="10">එහෙත් මෙය දැන් එළිදරව් කරන ලද්දේ අපේ මිදුම්කාරයාණන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රකාශ වීමෙන් ය. උන් වහන්සේ මරණයේ බලය බිඳදමා, ජීවනයත්, අමරණීය භාවයත්, සුබ අස්න මඟින් හෙළි කර වදාළ සේක.</verse>
				<verse number="11">ඒ සුබ අස්න පිළිබඳ දේශනාකරුවෙකු ද ප්‍රේරිතයෙකු ද, ගුරුවරයෙකු ද ලෙස මම පත් කරනු ලැබුවෙමි.</verse>
				<verse number="12">මා දුක් විඳින්නේ ඒ නිසා ම ය. එහෙත් මම ලජ්ජා නොවෙමි. මන්ද, මා අදහන්නේ කවරෙකු ද කියා මම දනිමි. මට භාර දී තිබෙන දෙය, ඒ මහා දවස දක්වා ආරක්ෂා කිරීමට උන් වහන්සේට හැකි බව මම සැක නොකරමි.</verse>
				<verse number="13">ඔබ මාගෙන් ලබාගත් සාරගර්භ ධර්මයේ ආදර්ශය ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් හා ප්‍රේමයෙන් යුතු ව සිතෙහි නිදන් කරගන්න.</verse>
				<verse number="14">අපට භාර දුන් මේ අගනා දෙය අප තුළ වාසය කරන ශුද්ධාත්මයාණන්ගේ උපකාරයෙන් ආරක්ෂා කරන්න.</verse>
				<verse number="15">පිගෙලස්, හර්මෝගෙනිස් සහ ආසියාවේ සිටින සියල්ලන් මා හැරදමා ගිය බව ඔබ දන්නෙහි ය.</verse>
				<verse number="16">ඔනේසිපොරස්ගේ පවුලේ අයට සමිඳාණන් වහන්සේගේ කරුණාව ලැබේ වා! මන්ද, ඔහු බොහෝ වර මට සැනසිල්ලක් විය. ඔහු මා සිරගත වීම ගැන ලජ්ජා නොවූවා පමණක් නොව,</verse>
				<verse number="17">ඔහු රෝමයට ආ කෙණෙහි ම, මා හමු වන තෙක් ම බොහෝ වෑයමෙන් මා සෙවී ය.</verse>
				<verse number="18">ඒ මහා දවසේ දී ඔහුට සමිඳාණන් වහන්සේගෙන් කරුණාව ලැබෙන්නට උන් වහන්සේ සලස්වන සේක් වා! ඔහු එපීසයෙහි දී මට කෙතරම් උපස්ථාන කළේ දැ යි මට වඩා හොඳින් ඔබ දන්නෙහි ය.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">මා ප්‍රිය පුත්‍රය, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ වරප්‍රසාදයෙන් ශක්තිමත් වන්න.</verse>
				<verse number="2">බොහෝ සාක්ෂිකරුවන් ඉදිරියෙහි ඔබ මගෙන් අසා දැනගත් දේ, අන්‍යයන්ට ඉගැන්වීමට හැකි, විශ්වාසවන්ත පුද්ගලයන්ට පවරා දෙන්න.</verse>
				<verse number="3">ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ විශ්වාසී හේවායෙකු සේ දුක් විඳීමට පංගුකාරයෙක් වන්න.</verse>
				<verse number="4">ඕනෑ ම හේවායෙක් ජන සමාජයේ කටයුතුවල පැටලෙන්නේ නැති ව, තමා බඳවාගත් තැනැත්තා සතුටු කරන්නට බලයි.</verse>
				<verse number="5">තවද, තරඟයේ සියලු නීති රීති අනුව ක්‍රියා නොකළොත්, ක්‍රීඩකයෙකුට ජය කිරුළක් පැළඳගැනීමට ලැබෙන්නේ නැත.</verse>
				<verse number="6">අස්වැන්න කපා භුක්ති විඳීමේ අයිතිය මුලින් ම ඇත්තේ ඒ සඳහා වෙහෙස වූ ගොවියාට ය.</verse>
				<verse number="7">මා කියන දේ ගැන කල්පනා කරන්න. මන්ද, සියල්ල තේරුම්ගැනීමේ හැකියාව සමිඳාණන් වහන්සේ ඔබට දෙනු ඇත.</verse>
				<verse number="8">මාගේ සුබ අස්නේ තේමාව නම්; “දාවිත්ගේ වංශයෙන් උපන්, මරණයෙන් උත්ථාන වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ය.”</verse>
				<verse number="9">අපරාධකරුවෙකු මෙන් යදමින් බඳිනු ලැබ දුක් විඳින්නට මට සිදු වී තිබෙන්නේ ඒ නිසා ය. එහෙත් දේව වාක්‍යය, බැඳ තැබිය නොහැකි ය.</verse>
				<verse number="10">එබැවින් තෝරා ගත් අයට ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් වන ගැළවීමත්, ඒ සමඟ ම වූ සදාතන මහිමයත් ලැබෙන සේ ඔවුන් නිසා සියල්ල ඉවසමි.</verse>
				<verse number="11">පහත දැක්වෙන්නේ විශ්වාස කටයුතු කීමක් ය. “අපි උන් වහන්සේ සමඟ මැරෙමු නම්, අපි උන් වහන්සේ සමඟ ජීවත් වන්නෙමු;</verse>
				<verse number="12">
					අපි ස්ථිර ව සිටිමු නම්, උන් වහන්සේ සමඟ රජකම් කරන්නෙමු;
					අපි උන් වහන්සේ ප්‍රතික්ෂේප කරමු නම්, උන් වහන්සේ අපත් ප්‍රතික්ෂේප කරන සේක.
				</verse>
				<verse number="13">අප අවිශ්වාසවන්ත වුවත්, උන් වහන්සේ විශ්වාසවන්ත ව, සිටින සේක. මන්ද, උන් වහන්සේට තමන් ම ප්‍රතික්ෂේප කිරීම නොකළ හැකි ය.”</verse>
				<verse number="14">මේවා ඔවුන්ට මතක් කරමින්, වැඩක් නැති, අසන්නන්ට හානි ගෙන දෙන වචන ගැන විවාද නොකිරීමට දෙවියන් වහන්සේ ඉදිරියෙහි තරයේ අණ කරන්න.</verse>
				<verse number="15">ඔබත් සත්‍ය ධර්මය නියම ලෙස ප්‍රකාශ කරන්න, ලජ්ජා වීමට හේතුවක් නැති සේවකයෙකු ලෙස දෙවියන් වහන්සේට ප්‍රිය තැනැත්තෙකු මෙන් පෙනී සිටීමට උත්සාහ කරන්න.</verse>
				<verse number="16">තේරුමක් නැති හිස් දෙඩවිලිවලින් වැළකී සිටින්න. මන්ද, ඒවා නිසා භක්තිවන්තකම වැඩි වැඩියෙන් නැති වේ.</verse>
				<verse number="17">ඔවුන්ගේ ඒ ඉගැන්වීම් පිළිකාවක් මෙන් ඔඩු දුවන්නේ ය. හිමෙනියස් ද පිලේතස් ද එවැනි අය වෙත්.</verse>
				<verse number="18">ඔව්හු පුනරුජ්ජීවනය දැනට ම සිදු වී තිබෙන බව කියමින්, සත්‍යයෙන් බැහැර ගොස්, සමහරුන්ගේ විශ්වාසය අවුල් කරති.</verse>
				<verse number="19">කෙසේ වුවත්, දෙවියන් වහන්සේ දැමූ සවි අත්තිවාරම ස්ථිර ව පවතී. ඒ මත මෙසේ ලියා ඇත: “සමිඳාණන් වහන්සේ තමන්ට අයිති අය දන්නා සේක; සමිඳාණන් වහන්සේගේ නම කියා උන් වහන්සේ අමතන සියල්ලො‍් ම අධර්මිෂ්ඨකමින් වැළකිය යුත්තෝ ය.”</verse>
				<verse number="20">විශාල ගෙයක රන් රිදී භාජන පමණක් නොව, ලී හා මැටි භාජනත් තිබේ. මුලින් කී ඒවා වටිනා ලෙසත් සෙසු ඒවා නොවටිනා ලෙසත් සැලකිය හැකි ය.</verse>
				<verse number="21">එහෙයින් යමෙක් නපුරු දේ අත්හැර, තමා ම පවිත්‍ර කරගනී නම්, ඔහු පිරිසිදු කරන ලද, සමිඳාණන් වහන්සේගේ භාවිතයට සුදුසු වටිනා දෙයකට යෙදෙන, ඕනෑ ම යහපත් සේවයකට යෝග්‍ය භාජනයක් වන්නේ ය.</verse>
				<verse number="22">යොවුන් වියේ ඇති වන කාමතෘෂ්ණාවලින් ඉවත් වී, පිරිසිදු සිතින් සමිඳාණන් වහන්සේගේ නම අමතන අය සමඟ දමිටුකමත්, විශ්වාසයත්, ප්‍රේමයත්, සාමයත් සොයා යන්න.</verse>
				<verse number="23">හිස්, අනුවණ විවාදවලින් කලහ හටගන්නා බව දැන, ඒවායින් වළකින්න.</verse>
				<verse number="24">සමිඳාණන් වහන්සේගේ දාසයා කලහකාරයෙකු නොව, සියල්ලන්ට ම කරුණාවන්ත, උගන්වන්නට සමත්, ඉවසිලිවන්ත තැනැත්තෙකු විය යුතු ය.</verse>
				<verse number="25">විරුද්ධවාදීන් සෞම්‍ය ලෙස යහමඟ යැවිය යුත්තේ දෙවියන් වහන්සේ ඔවුන්ට සිත් හරවා ගැනීමේ පසුතැවිල්ලක් දිය හැකි නිසා ය. එවිට ඔවුන්ට සත්‍යය හඳුනාගන්නට පිළිවන් වෙයි.</verse>
				<verse number="26">මෙසේ ඔවුන්ට සිහිකල්පනාව ආ විට, ඔව්හු, යක්ෂයා විසින් සිය කැමැත්ත කරවාගන්න පිණිස තමන් අසු කරගන්නා ලද උගුලෙන් මිදෙන්නෝ ය.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">මෙය හිතට ගන්න: අවසාන කාලයේ දී උවදුරු අවස්ථා ඇති වෙයි.</verse>
				<verse number="2">ඒ කාලයේ දී මිනිස්සු ආත්මාර්ථකාමී, මිලමුදලට ආලය කරන, පුරසාරම් දොඩන, අහංකාර, දේව අපහාස කරන, දෙමව්පියන්ට අකීකරු, කෙළෙහිගුණ නොසලකන, අධර්මිෂ්ඨ,</verse>
				<verse number="3">අනුකම්පා රහිත, දයාවිරහිත, ඕපාදූප කියන, අසංවර, කුරිරු, හොඳ දේට අකමැති,</verse>
				<verse number="4">ද්‍රෝහී, හිතුවක්කාර, හිස උදුම්මාගත්, දෙවියන් වහන්සේට ප්‍රේම කරනවාට වඩා විනෝදයට ඇලුම් වූ අය වන්නෝ ය.</verse>
				<verse number="5">දේව භක්තික පෙනුම ඔවුන්ට තිබුණත්, එහි බලය ප්‍රතික්ෂේප කරති. එබඳු අයගෙන් අහක් වී සිටින්න.</verse>
				<verse number="6">මන්ද, මොවුන්ගෙන් සමහරු ගෙවලට ඇතුළු වී, පවින් බර වූ, අනේක කාමතෘෂ්ණාවලින් බැඳුණු</verse>
				<verse number="7">නිතර ම ඉගෙනගන්න නමුත් කිසිකලෙක සත්‍යය දැනගන්නට බැරි, ළාමක ස්ත්‍රීන් වසඟ කරගන්න අය වෙති.</verse>
				<verse number="8">යන්නෙස් සහ යම්බ්‍රෙස් මෝසෙස්ට විරුද්ධ වූවාක් මෙන්, මොවුහු සත්‍යයට විරුද්ධ ව සිටිති. ඔවුන්ගේ සිත් දූෂණය වී ඇත. ඔවුන්ගේ ඇදහිල්ල හිස් දෙයකි.</verse>
				<verse number="9">එහෙත් ඔවුනට වැඩි දුර යන්නට නොලැබේ. මන්ද, ඒ දෙදෙනාට සිදු වූවාක් මෙන්, මොවුන්ගේ මෝඩකම කාටත් හෙළි වන බැවිනි.</verse>
				<verse number="10">එහෙත් මගේ ඉගැන්වීම ද හැසිරීම ද අරමුණ ද ඇදහිල්ල ද ඉවසිලිවන්තකම ද ප්‍රේමය ද ශාන්තිය ද</verse>
				<verse number="11">අන්තියෝකියේදීත්, ලුස්ත්‍රාවේදීත්, ඉකොනියේදීත්, මට ඇති වුණු පීඩා හා දුක්විඳීම් ද ඔබ දන්නෙහි ය. ඒ සියල්ලෙන් ම සමිඳාණන් වහන්සේ මා මිදූ සේක.</verse>
				<verse number="12">ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ දේව භක්තික ව ජීවත් වන්නට කැමැති සියල්ලො‍් ම පීඩා විඳින්නෝ ය.</verse>
				<verse number="13">එහෙත් නපුරු මිනිස්සු ප්‍රයෝගයෙන් අනුන් රවටා, තමන් ද රැවටී, වැඩි වැඩියෙන් නරක් වන්නෝ ය.</verse>
				<verse number="14">එහෙත් ඔබ ඉගෙනගත්, ඔබ සහතික ලෙස අදහන දේවල් සිතේ තබාගන්න. ඔබේ ගුරුවරුන් අමතක නොකරන්න.</verse>
				<verse number="15">ළමාවියේ සිට ඔබ ශුද්ධ ලියවිලි දැනගත් බව ද අමතක නොකරන්න. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලත්, ගැළවීමේ මාර්ගයත්, ඒවායින් ඉගෙනගත හැකි ය.</verse>
				<verse number="16">දේවානුභාවයෙන් යුත් මුළු ශුද්ධ ලියවිල්ල, ඉගැන්වීමට ද දුර්මත දුරු කිරීමට ද හික්මවීමට ද දමිටු ජීවිතයක් ගත කිරීම පිණිස උපදෙස් දීමට ද ප්‍රයෝජනවත් වෙයි.</verse>
				<verse number="17">දෙවියන් වහන්සේට කැප වූ පුද්ගලයා සම්පූර්ණ වශයෙන් පුහුණු වී, ඕනෑ ම යහපත් සේවයකට සූදානම් ව සිටින්නේ එසේ ය.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">දෙවියන් වහන්සේ ඉදිරියෙහි ද, ජීවතුන්ගේ ද, මළවුන්ගේ ද විනිශ්චයකාරයාණන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ඉදිරියෙහි ද, එතුමාණන්ගේ ආගමනයේ හා රාජ්‍යයේ ද නාමයෙන් මා ඔබට පවරන භාරදූර කටයුත්ත මේ ය:</verse>
				<verse number="2">දේව වචනය දේශනා කරන්න. කලටත් අකලටත් එහි නිරතව සිටින්න; ඉවසිලිවන්ත ව උගන්වමින් සත්‍යය පහදා දෙන්න. තරවටු කරන්න, දිරි ගන්වන්න.</verse>
				<verse number="3">මන්ද, සාර ධර්මය නොතකා, තමන් රිසි රිසි දෙය ඇසීමේ ආශාවෙන් ගුරුවරුන් රැස්කරගන්නා කාලයක් පැමිණෙන්නේ ය.</verse>
				<verse number="4">එවිට ඔව්හු සත්‍යයට කන් නොදී, මිථ්‍යා ප්‍රබන්ධවලට හැරෙන්නෝ ය.</verse>
				<verse number="5">එහෙත් ඔබ සියලු අවස්ථාවල දී සන්සුන් ලෙස ක්‍රියා කරන්න, දුක් ඉවසන්න, ධර්මදූත සේවයේ යෙදෙන්න. ඔබට පැවරී ඇති වගකීම් මනා ලෙස ඉටු කරන්න.</verse>
				<verse number="6">මා ගැන කියතොත්, මගේ ජීවිතය දැනට ම පානීය පූජාවක් මෙන් පිදීමට සූදානම් ව ඇත. මාගේ වියෝ වීමේ කාලය දැන් පැමිණ තිබේ.</verse>
				<verse number="7">මම යහපත් සටනෙහි සටන් කෙළෙමි. මම දිවීම අවසන් කෙළෙමි, මම ඇදහිල්ල රක්ෂා කෙළෙමි.</verse>
				<verse number="8">දැහැමි ජීවිතයක කිරීටය මට දැන් වෙන් කර තිබේ. ඒ මහා දවසේ දී සාධාරණ විනිශ්චයකාර සමිඳාණන් වහන්සේ එය මට දෙන සේක. මට පමණක් නොව, උන් වහන්සේගේ ප්‍රකාශ වීම ආශාවෙන් බලාපොරොත්තු වන සියල්ලන්ට ද එය දෙන සේක.</verse>
				<verse number="9">ඉක්මනින් මා වෙත එන්නට උත්සාහ කරන්න.</verse>
				<verse number="10">මන්ද, දේමස් ලෞකික ජීවිතයට ඇලුම් වී, මා අත්හැර, තෙසලෝනිකයට ගියේ ය. ක්‍රස්කේන්ස් ගලාතියටත්, තීතස් දල්මතියාවටත් ගියෝ ය.</verse>
				<verse number="11">ලූක් පමණක් මා සමඟ සිටී. මාක් ඔබ සමඟ කැඳවාගෙන එන්න. මගේ වැඩට ඔහු ප්‍රයෝජනවත් සහකාරයෙකි.</verse>
				<verse number="12">තුකිකස් එපීසයට යැවීමි.</verse>
				<verse number="13">ත්‍රෝවස්හි දී කාර්පස් ළඟ මා තබා ආ සළුව ද පොත් ද විශේෂයෙන් සටහන් පොත් ද ඔබ එන විට ගෙනෙන්න.</verse>
				<verse number="14">තඹකරු ඇලෙක්සැන්දර් මට බොහෝ නපුරුකම් පෑවේ ය. සමිඳාණන් වහන්සේ ඔහු කළ දෙයට නිසි විපාක දෙන සේක.</verse>
				<verse number="15">ඔබත් ඔහුගෙන් පරිස්සම් වෙන්න. මන්ද ඔහු අප දුන් පණිවුඩයට දරුණු ලෙස විරුද්ධ වූ බැවිනි.</verse>
				<verse number="16">මගේ පළමු නඩු විභාගයේ දී කිසිවෙක් මා සමඟ නොසිටියහ. සියල්ලෝම මා අත්හැර ගියෝ ය. ඒ ගැන ඔවුන්ට වරදක් නොපැමිණේ වා.</verse>
				<verse number="17">එහෙත් සමිඳාණන් වහන්සේ මා අත්හැර නොගොස් මා ශක්තිමත් කළ සේක. මෙසේ මා මඟින් සුබ අස්න සම්පූර්ණ ලෙස සියලු විජාතීන්ට ඇසෙන සේ ප්‍රකාශ වනු ඇත. එසේ සිංහයාගේ කටින් මම මුදා ගනු ලැබුවෙමි.</verse>
				<verse number="18">සමිඳාණන් වහන්සේ සියලු දරුණු උවදුරුවලින් මා මුදා, උන් වහන්සේගේ ස්වර්ග රාජ්‍යයට මා පමුණුවන සේක. උන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්.</verse>
				<verse number="19">ප්‍රිස්කාට ද අකිලාට ද ඔනෙසිපොරස්ගේ පවුලේ අයට ද ආචාර කරමි.</verse>
				<verse number="20">එරස්තස් කොරින්තියෙහි නතර විය. ත්‍රොපිමස් අසනීප වූ නිසා මිලේතසෙහි නවත්වා ආවෙමි.</verse>
				<verse number="21">ශීත කාලයට පෙර එන්නට උත්සාහ කරන්න, ජුබුලස් ද පුදෙන්ස් ද ලීනස් ද ක්ලෝඩියා ද සහෝදර පිරිස ද ඔබට ආචාර කරති.</verse>
				<verse number="22">සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වේ වා! ඔබ සැමට කරුණාව වේ වා!</verse>
			</chapter>
		</book>
		<book number="56">
			<chapter number="1">
				<verse number="1">දෙවියන් වහන්සේගේ සේවකයෙකු ද, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු ද වන පාවුලු නම් මම, දෙවියන් වහන්සේ තෝරාගත් සෙනඟගේ ඇදහිල්ල ශක්තිමත් කර, දේව භක්තියෙහි සත්‍යය ඔවුන්ට ප්‍රත්‍යක්ෂ කරන පිණිස ලියමි.</verse>
				<verse number="2">ඒ දේව භක්තියෙහි පදනම වනාහි සදාතන ජීවනයේ බලාපොරොත්තුව වේ. කාලයාගේ පටන්ගැන්මට පෙර, දෙවියන් වහන්සේ අපට මේ සදාතනික ජීවිතය පොරොන්දු වූ සේක. උන් වහන්සේගේ වචනය විශ්වාස කටයුතු ය.</verse>
				<verse number="3">උන් වහන්සේ මේ වචනය නියමිත කාලයේ දී සිය පණිවුඩය මඟින් එළිදරව් කළ සේක. අප ගැළවුම්කාර දෙවියන් වහන්සේගේ අණ පරිදි, එය ප්‍රකාශ කිරීම මට පවරන ලදී.</verse>
				<verse number="4">අපගේ පොදු ඇදහිල්ලෙහි මාගේ සැබෑ පුත්‍රයා වන තීතස් වෙත මම මෙය ලියා එවමි. දෙවි පියාණන් වහන්සේගෙන් ද, අපගේ ගැළවුම්කාර ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගෙන් ද, කරුණාවත්, ශාන්තියත් ඔබට වේ වා!</verse>
				<verse number="5">මා ඔබ ක්‍රීතයේ නතර කෙළේ, ඉතුරු කටයුතු සම්පූර්ණ කරන පිණිසත්, මා නියෝග කළ ලෙස නුවරක් පාසා සභා මූලිකයන් පත් කරන පිණිසත් ය.</verse>
				<verse number="6">එසේ පත් කරන මූලිකයා නිදොස් චරිතයකින් යුත්, එක භාර්යාවක් පමණක් සිටින, කල්ක්‍රියාව ගැන සැකයට කරුණක් නැති, මනා හැසිරීමක් ඇති, ඇදහිලිවන්ත දරුවන් සිටින තැනැත්තෙකු විය යුතු ය.</verse>
				<verse number="7">සභා නායක තෙමේ දෙවියන් වහන්සේගේ ගබඩාකාරයෙකු වශයෙන් නිදොස් වූ, හිතුවක්කාර නො වූ, නොකිපෙන සුලු, මත්පැනට ලොල් නො වූ, කලහකාරී නො වූ, අයුතු ලාභයට ගිජු නො වූ,</verse>
				<verse number="8">ආගන්තුක සත්කාරයට ළැදි, යහපතට ප්‍රිය කරන, ශාන්තදාන්ත, දැහැමි, ශුද්ධ, දැමුණු ඉඳුරන් ඇති තැනැත්තෙකු විය යුතු ය.</verse>
				<verse number="9">තවද, ඔහු ධර්මානුකූල ව අනුශාසනා කරන්නට ද, විරුද්ධවාදීන් නිහඬ කරන්නට ද සමත් වන පිණිස, ධර්මානුකූල ඇදහිල්ලෙහි ස්ථිර ව පිහිටා සිටින තැනැත්තෙකු ද විය යුතු ය.</verse>
				<verse number="10">ඇත්ත වශයෙන් කියතොත්, හිතුවක්කාර, නන් දොඩන, රැවටිලිකාර, බොහෝ දෙනෙක්, විශේෂයෙන් චර්මඡේදිතයන් අතර සිටිති.</verse>
				<verse number="11">ඔවුන්ගේ කට පියවාදැමිය යුතු ය. ඔව්හු ලජ්ජා නැති ව, මුදල් ගැරීමේ අදහසින් අයුතු දේ උගන්වමින්, පවුල් මුළුමනින් ම අවුල් කරදමති.</verse>
				<verse number="12">“ක්‍රීත වැසියෝ කවදත් බොරුකාරයෝ ය; දරුණු තිරිසන්නු ය; කම්මැලි කෑදරයෝ ය”යි ඔවුන්ගේ ම රට වැසි දිවැසිවරයෙකු කියා ඇත.</verse>
				<verse number="13">මේ කීම සැබෑ ය. මේ කාරණය නිසා ඔවුන් ජුදෙව් මිථ්‍යා ප්‍රබන්ධ ද, සත්‍යයට පිටු පාන මිනිසුන්ගේ උපදෙස් ද නොසලකා,</verse>
				<verse number="14">ඇදහිල්ලෙහි නිවැරදි ව පිහිටන පිණිස ඔවුන්ට තදින් තරවටු කරන්න.</verse>
				<verse number="15">පවිත්‍ර අයට සියලු දේ පවිත්‍ර ය; දූෂිත, අභක්තික අයට කිසිවක් පවිත්‍ර නැත. ඔවුන්ගේ සිතත්, හෘදය සාක්ෂියත් දූෂණය වී තිබේ.</verse>
				<verse number="16">ඔව්හු දෙවියන් වහන්සේ දන්නා බව කියති. එහෙත් ස්වකීය ක්‍රියාවලින් උන් වහන්සේ නාඳුනන බව දක්වති; ඔව්හු පිළිකුල් ව, මුරණ්ඩු ව, යහපත කිරීමට අපොහොසත් ව සිටිති.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">ඔබ නම්, නිවැරදි ධර්මයට අනුකූල දේ ඉගැන්විය යුතු ය.</verse>
				<verse number="2">වයස්ගත පුරුෂයන්, තැන්පත්, තලතුනා, දැමුණු, තිරසර ඇදහිල්ලක් ද ප්‍රේමය ද ඉවසිල්ල ද ඇති අය විය යුතු ය.</verse>
				<verse number="3">එසේ ම වයස්ගත ස්ත්‍රීන් ද ශුද්ධ ජීවිතයකට ඔබින ලෙස හැසිරෙන, අපහාස නොනඟන, මත්පැනට ඇබ්බැහි නො වූ, යහපත් දේ උගන්වන අය විය යුතු ය.</verse>
				<verse number="4">මෙසේ විය යුතු වන්නේ, දේව වචනයට අපහාසයක් නොවන පිණිස, සිය පුරුෂයන්ටත්, දරුවන්ටත් ප්‍රේම කරමින්,</verse>
				<verse number="5">ආත්ම දමනය ඇති, නිර්මල ගෘහණියන් ලෙස, කරුණාවන්ත ව, සිය ස්වාමි පුරුෂයන්ට යටත් ව සිටීමට යෞවන භාර්යාවන් පුහුණු කරවනු පිණිස ය.</verse>
				<verse number="6">එසේ ම ආත්ම දමනය ඇති ව සිටීමට තරුණයන්ට අවවාද කරන්න.</verse>
				<verse number="7">සියල්ලෙහි දී ඔබ ම යහපත් ක්‍රියාවන්හි ආදර්ශයක් වන්න. ඔබ උගන්වන විට අවංක ව ප්‍රතිපත්තිගරුක ව සිටින්න.</verse>
				<verse number="8">විරුද්ධවාදීන්ට අප ගැන කිසි නපුරක් කීමට ඉඩක් නොතබා ඔවුන් ලජ්ජාවට පත් වන පිණිස, දෝෂාරෝපණයට ලක් කළ නොහැකි අයුරින් සාරවත් ගුරුකම් දෙන්න.</verse>
				<verse number="9">සියලු කාරණාවල දී තම ස්වාමිවරුන්ට යටත් ව සිටීමටත්, වාද නොකොට ඔවුන් සතුටු කිරීමටත් දාසයන්ට අවවාද කරන්න.</verse>
				<verse number="10">එසේ ම, සොරකම් නොකොට, සම්පූර්ණ විශ්වාසය ඇති ව සිටිමින් හැම අයුරින් ම අපගේ ගැළවුම්කාර දෙවියන් වහන්සේගේ ධර්මය බැබළවිය යුතු බව ඔවුන්ට උගන්වන්න.</verse>
				<verse number="11">සියලු මනුෂ්‍යයන්ට ගැළවීම ගෙන දෙන දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ප්‍රකාශ වී ඇත.</verse>
				<verse number="12">අභක්තිය ද ලෞකික තෘෂ්ණා ද හැරදමා, ආශීර්වාද ලත් බලාපොරොත්තුව ගැනත්, අපගේ මහෝත්තම දෙවියන් වහන්සේ හා ගැළවුම්කාර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ තේජාන්විත ආගමනය ගැනත් බලා සිටිමින්, සිහිනුවණින් යුතු ව දැහැමි ලෙසත් භක්තිවන්ත ලෙසත් මෙලොව ජීවත් වන පිණිස ඒ දේව වරප්‍රසාදය අපට අනුශාසනා කරන්නේ ය.</verse>
				<verse number="13">***</verse>
				<verse number="14">සියලු අධර්මිෂ්ඨකම්වලින් අප පවිත්‍ර කරන පිණිසත්, අප උන් වහන්සේගේ තෝරාගත් සෙනඟක් කරන පිණිසත් යහපත කිරීමට අප උද්‍යෝගිමත් කරවන පිණිසත්, අප නිදහස් කරන පිණිසත්, උන් වහන්සේ අප උදෙසා දිවි පිදූ සේක.</verse>
				<verse number="15">සම්පූර්ණ බලය ඇති ව මේ දේවල් උගන්වන්න, අනුශාසනා කරන්න, තරවටු කරන්න, ඔබ සුළු කොට සිතන්නට කිසිවෙකුට ඉඩ නොදෙන්න.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">නිලධාරීන්ට හා ආණ්ඩු බලය ඇත්තන්ට යටත් වී, කීකරු වීමට ද, සියලු යහපත් වැඩට සූදානම් ව සිටීමට ද ඔබේ සෙනඟට මතක් කරන්න.</verse>
				<verse number="2">එසේ ම කිසිවෙකු ගැන අගුණ නොකියන්නට ද කලහකාරී නොවී, සියලු මනුෂ්‍යයන් කෙරෙහි හැම අයුරින් කාරුණික ව, ආචාරශීලී ව සිටීමට ද මතක් කරන්න.</verse>
				<verse number="3">මන්ද, අපිත් වරක් අඥාන ව, අකීකරු ව සිටියෙමු. මුළා ව ගොස්, අනේකාකාර තෘෂ්ණාවලටත්, සැප සෙල්ලමටත් වහල් ව සිටියෙමු. කුඩුකේඩුකමිනුත් ඊර්ෂ්‍යාවෙනුත් හැසිරෙමින්, අන්‍යයන්ගේ වෛරය ලැබීමට සුදුස්සන් ව එකිනෙකාට වෛර කරමින් සිටියෙමු.</verse>
				<verse number="4">එහෙත් අපගේ ගැළවුම්කාර දෙවියන් වහන්සේගේ ගුණවත්කම හා ප්‍රේමය මනුෂ්‍යයන් කෙරෙහි ප්‍රකාශ වූ කල,</verse>
				<verse number="5">අප විසින් ම කළ දැහැමි ක්‍රියාවලින් නොව, හුදෙක් ස්වකීය දයාව ලෙස, පුනරුත්පාදනය නමැති ධෝවනයෙන් ද ශුද්ධාත්මයාණන් වහන්සේගේ අලුත් කිරීමෙන් ද උන් වහන්සේ අප ගැළෙව් සේක.</verse>
				<verse number="6">උන් වහන්සේගේ වරප්‍රසාදයෙන් අප දමිටු කරනු ලැබ, සදාතන ජීවනයේ බලාපොරොත්තුවට උරුමක්කාරයන් වන පිණිස,</verse>
				<verse number="7">උන් වහන්සේ අප ගැළවුම්කාර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන ශුද්ධාත්මයාණන් අධික ලෙස අප පිට වැගිරෙව් සේක.</verse>
				<verse number="8">මේ සියල්ල විශ්වාස කටයුතු ය; දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහීමට පැමිණි අය, යහපත් ක්‍රියාවන්හි යෙදී සිටීමට උනන්දුවක් ම දක්වන පිණිස ඔබ මේ දේවල් සහතික ලෙස කියන්නෙහි නම් මම කැමැත්තෙමි. මේ කී දේ මිනිසුන්ට යහපත් ය; වැඩදායක ය.</verse>
				<verse number="9">එහෙත්, අනුවණ තර්ක, පෙළපත් පිළිබඳ කතා, ආරාවුල්, ව්‍යවස්ථාව ගැන වාද විවාද යන මේවායින් වැළකී සිටින්න. මන්ද, ඒවා නිෂ්ඵල ය, නිරර්ථක ය.</verse>
				<verse number="10">භේදකාරී මනුෂ්‍යයාට වරක් දෙවරක් අවවාද කළ පසු ඔහුගෙන් අහක් වෙන්න.</verse>
				<verse number="11">මෙබඳු මනුෂ්‍යයා සිතින් දූෂ්‍ය වී සිටින බවත්, දැන දැන ම පව් කරන බවත්, තමා පිට විනිශ්චය පමුණුවා ගන්නා බවත් ඔබ දන්නෙහි ය.</verse>
				<verse number="12">මා නිකපොලිසියෙහි ශීත කාලය ගත කරන්නට තීරණය කරගත් බැවින්, අර්තිමස් හෝ තුකිකස් හෝ ඔබ වෙත එවූ විට, ඔබ මා වෙත නොපමා ව එන්නට උත්සාහ කරන්න.</verse>
				<verse number="13">නීතිඥයෙකු වූ සේනාස්ට ද අපොල්ලොස්ට ද කිසිවකින් හිඟයක් නැති ව, ඔවුන්ගේ ගමන ඉක්මන් වන පිණිස හැකි තරමින් උපකාර කරන්න.</verse>
				<verse number="14">තවද, අපේ සෙනඟ නිෂ්ඵල ව කල් නොයවා, නියම අවශ්‍යතා සඳහා යහපත් වැඩවල යෙදී සිටීමට ඉගෙනගත යුතු ය.</verse>
				<verse number="15">මා සමඟ සිටින සියල්ලෝ ඔබට ආචාර කරති. ඇදහිල්ලෙහි අපගේ හිත මිතුරන් වන අයට ආචාර කරන්න. කරුණාව ඔබ සියල්ලන් සමඟ වේ වා!</verse>
			</chapter>
		</book>
		<book number="57">
			<chapter number="1">
				<verse number="1">ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ උදෙසා හිරකාරයෙකු වන පාවුලු ද සහෝදර තිමෝතියස් ද යන අපි, අපගේ ප්‍රේමණීය සහකාර සේවකයෙකු වන පිලෙමොන් වෙතට ද ඔබේ ගෙදර රැස් වන සභාවට ද</verse>
				<verse number="2">අපගේ සහෝදරී වූ අපියාට ද අපගේ සහකාර හේවායෙකු වන අර්කිපස්ට ද මෙය ලියා එවමු.</verse>
				<verse number="3">අපගේ පියාණන් වන දෙවියන් වහන්සේගෙන් ද ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගෙන් ද කරුණාවත් ශාන්තියත් ඔබ හට වේ වා!</verse>
				<verse number="4">මාගේ යාච්ඤාවල දී ඔබ සිහි කරමින් මම මාගේ දෙවියන් වහන්සේට ස්තුති කරමි.</verse>
				<verse number="5">එසේ කරන්නේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ කෙරෙහි ද, සියලු සැදැහැවතුන් කෙරෙහි ද ඇති ඔබේ ප්‍රේමයත්, ඇදහිල්ලත් ගැන මා අසා තිබෙන බැවිනි.</verse>
				<verse number="6">මාගේ යාච්ඤාව නම්, නුඹ තුළ පවතින සියලු යහපත් දේ ගැන දැන ගැනීමෙන් නුඹේ ඇදහිල්ලේ සහභාගිකම ක්‍රිස්තුන් වහන්සේ උදෙසා පලදායී වීමයි.</verse>
				<verse number="7">සහෝදරය, මට ඉමහත් ප්‍රීතියක් ද සැනසිල්ලක් ද ගෙන දෙන්නේ ඔබ නිසා සැදැහැවතුන්ගේ සිත් ප්‍රාණවත් වී ඇති බැවිනි.</verse>
				<verse number="8">මේ නිසා, කළ යුතු දේ පිළිබඳ ව ඔබට අණ කරන්නට ක්‍රිස්තුන් වහන්සේ තුළ මට නිදහස ඇති නමුත්,</verse>
				<verse number="9">එසේ නොකර, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ තානාපතියෙකු වන, දැන් උන් වහන්සේ උදෙසා හිරකාරයෙකු ව සිටින, පාවුලු නම් මම, ඉතා ආදරයෙන් ඔබගෙන් ඉල්ලීමක් කරමි.</verse>
				<verse number="10">ඒ ඉල්ලීම නම්, මා හිරගෙදර සිටිය දී මාගේ දරුකමට පත් වූ ඔනේසිමස් ගැන ය.</verse>
				<verse number="11">වරක් ඔහු ඔබට නිෂ්ප්‍රයෝජන ව සිටි නමුත්, දැන් ඔහු ඔබටත් මටත් ප්‍රයෝජනවත් වී සිටියි.</verse>
				<verse number="12">මාගේ හදවත වැනි ඔහු ඔබ වෙත ආපසු එවමි.</verse>
				<verse number="13">සුබ අස්න නිසා මා හිර අඩස්සියේ සිටිය දී ඔබ වෙනුවෙන් මට උපස්ථාන කරන පිණිස ඔහු මා ළඟ නවතාගැනීමට මම කැමැත්තෙමි.</verse>
				<verse number="14">එහෙත් ඔබේ අනුමැතිය නැති ව කිසිත් කරන්නට මම කැමැති නොවෙමි. මන්ද, ඔබේ උපකාරය බල කිරීමෙන් නොව, සිය කැමැත්තෙන් ම දෙන දෙයක් විය යුතු යි.</verse>
				<verse number="15">සමහර විට ඔනේසිමස් ඔබෙන් ටික කලකට වෙන් වූයේ, නැවත ඔහු ඔබට නිත්‍ය ලෙස අයිති වන පිණිස විය හැකි ය.</verse>
				<verse number="16">එහෙත් මෙතැන් පටන් ඔහු දාසයෙකු නොව, දාසකම ඉක්ම වූ ප්‍රේමණීය සහෝදරයෙකි. මට එසේ වන ඔහු මිනිසෙකු වශයෙන් ද සමිඳාණන් වහන්සේ තුළ ද ඔබට ඊටත් වඩා අගනා විය යුතු ය.</verse>
				<verse number="17">ඔබ මා ගැන ඇදහිල්ල පිළිබඳ සහකාරයෙකු හැටියට සිතන්නෙහි නම්, ඔබ මා පිළිගන්නාක් මෙන් ඔනේසිමස් ද පිළිගන්න.</verse>
				<verse number="18">ඔහු ඔබට යම් වරදක් කර ඇත්නම්, නොහොත් ඔබට ණය ව සිටී නම් ඒ වගකීම මම භාරගනිමි.</verse>
				<verse number="19">පාවුලු නම් මම මාගේ අතින් ම මෙසේ ලියා සහතික කරමි. ඒ ණය මම ගෙවමි. එසේ ලියන අතර, ඔබේ ජීවිතය ගැන ඔබ මට ණයගැති ව සිටින බව මතක් කළාට වරදක් නැත.</verse>
				<verse number="20">මාගේ සහෝදරය, සමිඳාණන් වහන්සේ තුළ මට මේ උපකාරය කරන්න; කිතුනුවෙකු වශයෙන් මාගේ සිත සනසන්න.</verse>
				<verse number="21">මා මෙය ලියන විට, මා ඉල්ලන දේ ඔබ ම ඉටු කරන බවත් ඉල්ලනවාටත් වඩා ඔබ ඉටු කරන බවත් මට සහතික ය.</verse>
				<verse number="22">ඒ හැර, මට නවාතැනක් ද සූදානම් කරන්න. මන්ද, ඔබ හැමගේ යාච්ඤා කරණකොටගෙන දෙවියන් වහන්සේ ඔබ වෙත මා පමුණුවනු ඇතැ යි මම බලාපොරොත්තු වෙමි.</verse>
				<verse number="23">ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ උදෙසා මා සමඟ හිරකාරයෙකු වන එපප්‍රස් ද</verse>
				<verse number="24">මාගේ හවුල් සේවකයන් වන මාක් ද අරිස්තර්කස් ද දේමස් ද ලූක් ද ඔබට ආචාර කරති.</verse>
				<verse number="25">අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කරුණාව ඔබ හැම සමඟ පවතී වා!</verse>
			</chapter>
		</book>
		<book number="58">
			<chapter number="1">
				<verse number="1">දෙවියන් වහන්සේ ආදි යුගවල දී, නොයෙක් විට ද විවිධාකාරයෙන් ද, දිවැසිවරයන් මඟින් අපේ පියවරුන්ට කතා කළ සේක.</verse>
				<verse number="2">එහෙත් දැන් මේ අවසාන කාලයේ දී උන් වහන්සේ සිය පුත්‍රයාණන් මඟින් අපට කතා කළ සේක. උන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේ මුළු විශ්වය මවා, සියල්ලේ උරුමකාරයාණන් කොට උන් වහන්සේ පත් කළ සේක.</verse>
				<verse number="3">උන් වහන්සේ දෙවියන් වහන්සේගේ මහිමතාවයේ ප්‍රභාවය ද දේවත්වයේ ස්වරූපය ද වන සේක්, තමන්ගේ ප්‍රබල වචනයෙන් සියල්ල දරන සේක. පාප ශෝධනය ඉටු කළ පසු, උන් වහන්සේ උත්තම ස්ථානයෙහි මහෝත්තමයාණන්ගේ දකුණත අසුන් ගත් සේක.</verse>
				<verse number="4">මෙසේ දේව දූතයන්ට වඩා ශ්‍රේෂ්ඨ නාමයක් පුත්‍රයාණන් වහන්සේට උරුම වූ බැවින් උන් වහන්සේ ඔවුන්ට වඩා බොහෝ සේ උතුම් වන සේක.</verse>
				<verse number="5">මන්ද: “ඔබ මාගේ පුත්‍රයා ය; මම අද ඔබ ජනිත කෙළෙමි”යි කියාත්, “මම ඔහුට පියෙක් වන්නෙමි, ඔහු මට පුත්‍රයෙක් වන්නේ ය” කියාත්, උන් වහන්සේ දේව දූතයන්ගෙන් කවරෙකුට කවදාවත් නොවදාළ සේක.</verse>
				<verse number="6">උන් වහන්සේ තමන්ගේ කුලුඳුල් පුත්‍රයාණන් ලෝකයට නැවත එවන කල: ‘දෙවියන් වහන්සේගේ සියලු දූතයෝ උන් වහන්සේට නමස්කාර කරත්වා”යි වදාරන සේක.</verse>
				<verse number="7">දේව දූතයන් ගැන: “උන් වහන්සේ ස්වකීය දූතයන් සුළං ද, ස්වකීය සේවකයන් ගිනි ජාලාවක් ද කරන සේකැ”යි වදාරන සේක.</verse>
				<verse number="8">එහෙත් පුත්‍රයාණන් ගැන: “දෙවියන් වහන්ස, ඔබගේ සිංහාසනය සදහට ම පවත්නේ ය; ධර්මිෂ්ඨකමේ ජයකොන්තය ඔබගේ රාජ්‍යයේ ජයකොන්තය වේ.</verse>
				<verse number="9">ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රිය ව අධර්මිෂ්ඨකමට ද්වේෂ කළ සේක; එබැවින් දෙවියන් වහන්සේ, ඔබේ ම දෙවියන් වහන්සේ, ප්‍රීතිය නමැති තෛලයෙන් ඔබේ සහකාරයන්ට ඉහළින් ඔබ අභිෂේක කළ සේකැ”යි වදාරන සේක.</verse>
				<verse number="10">යළිත්: “ස්වාමීනි, ආරම්භයේ දී ඔබ පොළොවේ අත්තිවාරම් ලූ සේක, ස්වර්ගලෝක ඔබගේ මැවිලි ය.</verse>
				<verse number="11">ඒවා පහ ව යන්නේ ය, එහෙත් ඔබ පවතින සේක. ඒ සියල්ල වස්ත්‍ර මෙන් පරණ වන්නේ ය;</verse>
				<verse number="12">ඔබ ඒවා සළුවක් මෙන් අකුළන සේක, වස්ත්‍ර මෙන් ඒවා මාරු කරනු ලබයි. එහෙත් ඔබ ඒකාකාර ම ය, ඔබගේ වයසට සීමාවක් නැතැ”යි වදාරන සේක.</verse>
				<verse number="13">එහෙත්: “මා විසින් ඔබේ සතුරන් ඔබට පා පුටුවක් කරනු ලබන තෙක්, මාගේ දකුණත අසුන් ගන්නැ”යි උන් වහන්සේ, දේව දූතයන්ගෙන් කවරෙකුට කවදා වදාළ සේක් ද?</verse>
				<verse number="14">එසේ නම් දේව දූතයෝ කවරහු ද? ඔව්හු සියල්ලෝ ම ගැළවීමේ උරුමය ලබන්නට සිටින්නවුන් උදෙසා සේවය පිණිස එවන ලද ආත්මයෝ ය.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">එබැවින් අප ඇසූ ඉගැන්වීම්වලින් ඈත් ව නොයන පිණිස ඒවා ගැන ඔබ වඩා සැලකිල්ලක් දැක්විය යුතු ය.</verse>
				<verse number="2">මන්ද, දේව දූතයන් මඟින් ප්‍රකාශ කරන ලද ව්‍යවස්ථාව කෙතරම් දැඩි වී ද යත්, සියලු වැරදිවලටත්, අකීකරුකම්වලටත් සාධාරණ ප්‍රතිවිපාක ලැබුණු බව අපි දනිමු.</verse>
				<verse number="3">එසේ නම්, පළමුවෙන් සමිඳාණන් වහන්සේ මඟින් ප්‍රකාශ කරන ලද, එය ඇසූවන් විසින් අපට සහතික කර දෙන ලද, මේ සා උදාර ගැළවීමක් අප නොසලකා සිටියොත්, අපි කෙසේ ගැළවෙමු ද?</verse>
				<verse number="4">දෙවියන් වහන්සේත් ලකුණුවලින් ද අරුමපුදුම දේවලින් ද විවිධ ප්‍රාතිහාර්යවලින් ද ස්වකීය කැමැත්ත අනුව ශුද්ධාත්මයාණන් වහන්සේගේ වරප්‍රසාද දීමෙන් ද ඊට සාක්ෂි දුන් සේක.</verse>
				<verse number="5">අප කතා කරන්නේ පැමිණෙන්නට තිබෙන ලෝකයක් ගැන ය. ඒ ලෝකය දෙවියන් වහන්සේ දේව දූතයන්ට යටත් නොකළ සේක.</verse>
				<verse number="6">එසේ නොව, ශුද්ධ ලියවිල්ලෙහි යම් තැනක යම් තැනැත්තෙක් මෙසේ සාක්ෂි දරයි. “ඔබ, මිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක් ද? නොහොත්, යම් මිනිසෙකු ගැන සලකන්නට තරම් ඔහු සතු වටිනාකම කිමෙක් ද?</verse>
				<verse number="7">ඔබ ඔහු, ටික කලකට දේව දූතයන්ට වඩා පහත් කළ සේක. ඔබ තෙජස ද ගෞරවය ද නමැති කිරුළ ඔහුට පැළඳ වූ සේක.</verse>
				<verse number="8">ඔබ ඔහුගේ පාදවලට සියල්ල ම යටත් කළ සේක.” එසේ ය, උන් වහන්සේ සියල්ල මිනිසාට යටත් කළ සේකැ යි කීමෙන් යටත් නොකළ කිසිවක් තවත් ඉතිරි වී නැති බව ප්‍රකාශ වේ. කෙසේ වෙතත් සියල්ල මිනිසාට යටත් කර තිබෙන බව තව ම අපට නොපෙනේ.</verse>
				<verse number="9">එහෙත් අපට පෙනෙන්නේ, දේව දූතයන්ට වඩා මඳක් පහත් කරනු ලැබූ නමුත්, දිවි පිදූ නිසා, තේජස හා ගෞරවය නමැති කිරුළ පැළඳ සිටින ජේසුස් වහන්සේ ය. එසේ වූයේ දෙවියන් වහන්සේගේ කරුණාවෙන් සියල්ලන් උදෙසා දිවි පුදන නිසා ය.</verse>
				<verse number="10">මන්ද, බොහෝ පුත්‍රයන් තේජසට ගෙන යන කල, ඔවුන්ගේ විමුක්තිදායකයාණන් වහන්සේ දුක් විඳීමෙන් පරිපූර්ණ කිරීමට, සියල්ල මවා ආරක්ෂා කරන දෙවියන් වහන්සේට යුතු ව තිබිණි.</verse>
				<verse number="11">මන්ද, පිරිසිදු කරන්නා ද පිරිසිදු කරනු ලබන්නෝ ද යන සියල්ලෝ ම එක ම පියාණන් වහන්සේගෙන් වෙති. ඒ කාරණය නිසා ජේසුස් වහන්සේ ඔවුන්ට සහෝදරයන් යයි කීමට ලජ්ජා නොවී:</verse>
				<verse number="12">“මම මාගේ සහෝදරයන්ට ඔබගේ නාමය ප්‍රකාශ කරන්නෙමි, සබ මැද ඔබට පැසසුම් ගී ගයන්නෙමි”යි වදාරන සේක.</verse>
				<verse number="13">නැවතත්: “මම උන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නෙමි”යි කියා ද, යළිත්: “මෙන්න, මමත් දෙවියන් වහන්සේ මට දුන් දූදරුවෝත්” ය කියා ද වදාළ සේක.</verse>
				<verse number="14">එහෙයින් පවුලේ සියලු දරුවන්ට එක ම මාංසයත් රුධිරයත් පොදුවේ ඇතිවා සේ ම උන් වහන්සේත් එම මිනිස් ස්වභාවයට පංගුකාර වූ සේක. එසේ කෙළේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්ෂයා මරණය මඟින් විනාශ කොට,</verse>
				<verse number="15">දිවි ඇති තාක් මරණ භයින් වහල්කමට යටත් ව සිටින සියල්ලන් නිදහස් කරන පිණිස ය.</verse>
				<verse number="16">මන්ද, උන් වහන්සේගේ සැලකිල්ලට භාජන වන්නේ දේව දූතයන් නොව, ආබ්‍රහම්ගේ පෙළපතෙන් පැවත එන අය ය.</verse>
				<verse number="17">එබැවින් ජනතාවගේ පව් කමා කිරීමට දෙවියන් වහන්සේගේ සේවයෙහි දයාන්විත, විශ්වාසවන්ත උත්තම පූජකයෙකු වන පිණිස, හැම අතින් ම සිය සහෝදරයන් හා සමාන වන්නට උන් වහන්සේට යුතු ව තිබිණි.</verse>
				<verse number="18">උන් වහන්සේ ම පරීක්ෂා කරනු ලැබ, දුක් වින්ද බැවින්, පරීක්ෂා කරනු ලබන්නන්ට සරණ වීමට උන් වහන්සේට පිළිවන.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">ස්වර්ගීය කැඳවීමට පංගුකාර වූ කිතුනු සහෝදරයෙනි, අපේ ඇදහිල්ලේ ප්‍රේරිතයාණන් හා උත්තම පූජකයාණන් ද වන ජේසුස් වහන්සේ ගැන කල්පනා කරන්න.</verse>
				<verse number="2">මෝසෙස් දෙවියන් වහන්සේගේ ගෘහයෙහි විශ්වාස ව සිටි සේ ම, ජේසුස් වහන්සේ ද තමන් පත් කළ තැනැන් වහන්සේට විශ්වාස ව සිටින සේක.</verse>
				<verse number="3">ගෘහයට වඩා ගෘහය තැනූ තැනැත්තාට ගෞරවය ඇත්තේ යම් සේ ද, එසේ ම මෝසෙස්ට වඩා ජේසුස් වහන්සේ ගෞරවය ලැබීමට සුදුසු යයි ඒත්තුගන්නා ලදී.</verse>
				<verse number="4">මන්ද, සෑම ගෘහයක් ම නිර්මාණය කරන්නෙක් සිටියි. එහෙත් සියල්ල නිර්මාණය කරන්නේ දෙවියන් වහන්සේ ය.</verse>
				<verse number="5">සැබැවින් ම මෝසෙස්, දෙවියන් වහන්සේ මතු දවස කියන්නට යන දේ ගැන සාක්ෂියක් ලෙස උන් වහන්සේගේ සේවකයෙකු මෙන් මුළු ගෘහයෙහි විශ්වාසී ව සිටියේ ය.</verse>
				<verse number="6">එහෙත් ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ ගෘහය පාලනය කරන පුත්‍රයෙකු මෙන් විශ්වාසී ව සිටි සේක. අග දක්වා අපේ උදාර බලාපොරොත්තුවෙහි නිසැක ව පවතිමු නම්, අපි උන් වහන්සේගේ ගෘහවාසීහු වම්හ.</verse>
				<verse number="7">එබැවින් ශුද්ධාත්මයාණෝ මෙසේ වදාරන සේක: “අද නුඹලා උන් වහන්සේගේ හඬට සවන් දෙන්නහු නම්,</verse>
				<verse number="8">පාළුකරයේ දී නුඹලා උන් වහන්සේ පරීක්ෂා කළ දවසේ දී මෙන් නුඹලාගේ සිත් දැඩි කර නොගන්න.</verse>
				<verse number="9">එහි දී නුඹලාගේ පියවරු සතළිස් අවුරුද්දක් මාගේ ක්‍රියා දැක දැකත් මා සෝදිසි කිරීමෙන් පරීක්ෂා කළහ.</verse>
				<verse number="10">එබැවින් මම ඒ පරම්පරාවට උදහස් වී: ‘ඔව්හු නිතර ම සිතින් මුළා වෙති; මාගේ මාර්ග ද ඔව්හු තේරුම් නොගත්හ.</verse>
				<verse number="11">ඔව්හු මාගේ විශ්‍රාමයට ඇතුළු නොවන්නෝ ය යි මාගේ උදහසින් දිවුළෙමි ය’යි කීවෙමි.”</verse>
				<verse number="12">එබැවින් සහෝදරයෙනි, ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙන් වෙන්වීමට හේතු වන, ඇදහිල්ලක් නැති නපුරු සිතක් ඇති කිසිවෙකු, ඔබ අතර නොසිටින හැටියට බලාගන්න.</verse>
				<verse number="13">ඔබගෙන් කිසිවෙකු පාප මායාවෙන් දැඩි නොවන පිණිස, ‘අද දවස’ යයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කරන්න.</verse>
				<verse number="14">මන්ද, මුලදී අප තුළ වූ විශ්වාසය, අග දක්වා අපි තරයේ පවත්වාගනිමු නම්, අපි ක්‍රිස්තුන් වහන්සේගේ උරුමක්කාරයෝ වම්හ.</verse>
				<verse number="15">ශුද්ධ ලියවිල්ල මෙසේ කියයි. “අද නුඹලා උන් වහන්සේගේ හඬ අසන්නහු නම්, කැරලි ගැසූ දවසේ දී මෙන් නුඹලාගේ සිත් දැඩි කර නොගන්න.”</verse>
				<verse number="16">දේව හඬ අසා, ඉන්පසු කැරලි ගැසුවෝ කවරහු ද? ඔව්හු මෝසෙස්ගේ මඟපෙන්වීම ඇති ව මිසරයෙන් නික්ම ආ සියල්ලෝ නොවෙත් ද?</verse>
				<verse number="17">උන් වහන්සේ සතළිස් අවුරුද්දක් ම උදහස් ව සිටියේ කවුරුන් සමඟ ද? පව් කොට, කාන්තාරයේ මළ අය සමඟ නොවේ ද?</verse>
				<verse number="18">තමන් වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු නොවන්නෝ ය යි උන් වහන්සේ දිවුරා කීවේ කවුරුන් ගැන ද? අකීකරු වූවන් ගැන නොවේ ද?</verse>
				<verse number="19">එබැවින් ඔවුන්ගේ අවිශ්වාසය නිසා ඔවුන්ට ඒ විශ්‍රාමයට ඇතුළු වන්නට නුපුළුවන් වූ බව අපට පෙනේ.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">එබැවින් දෙවියන් වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වීමේ පොරොන්දුව තවමත් තිබිය දී ඔබගෙන් යමෙකුට ඊට ඇතුළු වන්නට බැරි වේ දෝ කියා අපි බියක් ඇති කර ගනිමු.</verse>
				<verse number="2">මන්ද, ඔවුන්ට මෙන් අපටත් සුබ අස්න දේශනා කරන ලදී. එහෙත් ඔවුන් ඇසූ දේ ඇදහිල්ලෙන් නොපිළිගත් බැවින්, ඇසූ වචනයෙන් ඔවුන්ට වැඩක් නො වී ය.</verse>
				<verse number="3">ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත. “මාගේ උදහසින් දිවුළ ලෙස, ඔව්හු මාගේ විශ්‍රාමයට ඇතුළු නොවන්නෝ ය.” එසේ වුව ද, අදහාගත් අපි ඒ විශ්‍රාමයට ඇතුළු වෙමු. සැබැවින් ම ලෝකය මැවීමේ සිට, දෙවියන් වහන්සේගේ වැඩ නිම වී තිබුණේ ය.</verse>
				<verse number="4">උන් වහන්සේ එක් තැනක සත් වන දවස ගැන කතා කොට, “දෙවියන් වහන්සේ තමන් සියලු කටයුතුවලින් සත් වන දවසේ දී නිවාඩු ගත් සේකැ”යි කියා තිබේ.</verse>
				<verse number="5">නැවත මේ පාඨයෙහිත්: “ඔව්හු මාගේ විශ්‍රාමයට ඇතුළු නොවන්නෝ ය”යි කියා ඇත.</verse>
				<verse number="6">එබැවින් සමහරුන් ඊට ඇතුළු විය යුතු බැවින් ද, ඒ සුබ අස්න පළමුකොට ඇසූ අය, අකීකරුකම නිසා ඇතුළු නො වූ බැවින් ද,</verse>
				<verse number="7">උන් වහන්සේ බොහෝ කලකට පසු දාවිත් මඟින් ඉහත කී ලෙස කතා කරවමින්: “අද නුඹලා උන් වහන්සේගේ හඬ අසන්නහු නම්, නුඹලාගේ සිත් දැඩි කර නොගන්න,” යන පාඨයෙහි ‘අද’ කියා එක්තරා දවසක් නියම කරන සේක.</verse>
				<verse number="8">මන්ද, ජෝෂුවා ඔවුන්ට නිවාඩු දුන්නේ නම්, ඉන්පසු වෙන විශ්‍රාම දවසක් ගැන උන් වහන්සේ කතා කරන්නේ නැත.</verse>
				<verse number="9">එබැවින් දෙවියන් වහන්සේගේ සෙනඟට සබත් නිවාඩුවක් ඉතිරි ව ඇත.</verse>
				<verse number="10">දෙවියන් වහන්සේ සිය කටයුතුවලින් නිවාඩු ගත්තාක් මෙන්, උන් වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වූ තැනැත්තා ද, සිය කටයුතුවලින් නිවාඩු ගන්නේ ය.</verse>
				<verse number="11">එබැවින් අපි ඔවුන් මෙන් අකීකරු වී නොවැටෙන පිණිස ඒ විශ්‍රාමයට ඇතුළු වන්නට උත්සාහ කරමු.</verse>
				<verse number="12">දෙවියන් වහන්සේගේ වචනය ජීවමාන ය; ක්‍රියාශීලී ය; දෙමුවහත් කඩුවකටත් වඩා තියුණු ය; ආත්මය ප්‍රාණයෙන් ද, සන්ධි ඇටමිදුලුවලින් ද වෙන් කරන තරම් විනිවිද යන්නේ ය; සිතේ සිතුවිලි ද අරමුණු ද විමසන්නේ ය.</verse>
				<verse number="13">උන් වහන්සේ කෙරෙන් සැඟවිය හැකි කිසිවක් මුළු විශ්වයේ ම නැත. උන් වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැති ව විවෘත ව තිබේ. අප ගණන් දිය යුත්තේ උන් වහන්සේට ය.</verse>
				<verse number="14">එබැවින් අහස් මඬල ඉක්මවා ගිය දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් නම් ශ්‍රේෂ්ඨ උත්තම පූජකයෙකු අපට සිටින නිසා, අපේ ඇදහිල්ලෙහි නොසෙල්වී පවතිමු.</verse>
				<verse number="15">මන්ද, අපට ඇත්තේ අපේ දුබලකම් ගැන අනුකම්පාවක් නැති උත්තම පූජකයෙකු නොව, හැම අයුරින් ම අප වාගේ පරීක්ෂාවලට මුහුණ පෑ පාප රහිත උත්තම පූජකයෙකි.</verse>
				<verse number="16">එබැවින් අපේ අවශ්‍යතාවන්හි දී අපේ සරණ සඳහා දයානුකම්පාව ලබන පිණිස බිය සැක නැති ව කරුණාවේ සිංහාසනය වෙත ළඟා වෙමු.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">සෑම නායක පූජකයෙක් ම, පඬුරුත් පාප පූජාත් ඔප්පු කිරීම පිණිස ස්වකීය සෙනඟ අතුරින් තෝරාගෙන ඔවුන් වෙනුවෙන් දෙවියන් වහන්සේ සඳහා වූ කටයුතු කිරීම පිණිස පත් කරනු ලබයි.</verse>
				<verse number="2">ඔහුත් දුර්වලකම්වලට භාජන වී සිටින බැවින් අනුවණයන් ද මුළාවෙන්නන් ද ගැන ඉවසිල්ලෙන් ක්‍රියා කිරීමට ඔහුට පිළිවන.</verse>
				<verse number="3">ඒ දුර්වලකම් නිසා සෙනඟ උදෙසා මෙන් ම තමා උදෙසාත් ඔහු විසින් පාප පූජා ඔප්පු කරනු ලැබීම අවශ්‍ය ව ඇත.</verse>
				<verse number="4">තවද ආරොන් මෙන්, දෙවියන් වහන්සේ විසින් කැඳවන ලද අය මිස, අන් කිසිවෙක් ඒ නිලය තමාට ම පවරා නොගන්නේ ය.</verse>
				<verse number="5">එසේ ම ක්‍රිස්තුන් වහන්සේත් නායක පූජකයෙකු වීමේ ගෞරවය තමන් වහන්සේ ම පවරා නොගත් සේක. එහෙත්: “ඔබ මාගේ පුත්‍රයා ය; අද මම ඔබ ජනිත කෙළෙමි”යි උන් වහන්සේට කී තැනැන් වහන්සේ ම ඒ ගෞරවය පැවරූ සේක.</verse>
				<verse number="6">එලෙස ම වෙන තැනක: “ඔබ මෙල්කිසදෙක් පූජක පරපුර අනුව, සදහට ම පූජකයෙක් වන්නෙහි ය”යි ඒ තැනැන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="7">ක්‍රිස්තුන් වහන්සේ මිනිසත්බව ගෙන සිටිය දී තමන් මරණයෙන් ගළවන්නට පිළිවන් වූ තැනැන් වහන්සේට බලවත් හැඬීමෙනුත් කඳුළු සැලීමෙනුත්, යාච්ඤා ද කන්නලවු ද ඔප්පු කළ සේක. උන් වහන්සේගේ දේව ගරුබිය නිසා, දෙවියන් වහන්සේ එයට සවන් දුන් සේක.</verse>
				<verse number="8">උන් වහන්සේ පුත්‍රයාණන් වූ නමුත්, තමන්ගේ දුක් විඳීමෙන් කීකරුකම ඉගෙනගත් සේක.</verse>
				<verse number="9">මෙසේ උන් වහන්සේ සම්පූර්ණත්වය ලැබ, තමන් වහන්සේට කීකරු වන සියල්ලන්ගේ සදාතන විමුක්තිදායකයාණෝ වූ සේක.</verse>
				<verse number="10">තවද මෙල්කිසදෙක් පූජක පරපුර අනුව, උත්තම පූජක නාමය ද දෙවියන් වහන්සේගෙන් ලත් සේක.</verse>
				<verse number="11">මේ ගැන බොහෝ දේ කීමට ඇතත් ඔබේ ඇසීමට ඇති ආශාව හීන වී ඇති බැවින්, ඒවා පහදා දීම දුෂ්කර කරුණකි.</verse>
				<verse number="12">ඔබ ගුරුවරුන් විය යුතු කාලය දැන් පැමිණ ඇතත්, දේව පණිවුඩය ‘අ’ යන්නේ පටන් යමෙකු විසින් ඔබට ඉගැන්විය යුතු ව තිබේ. ඉන් අදහස් කරන්නේ, ඔබට ඝන ආහාර නොව කිරි දිය යුතු බව ය.</verse>
				<verse number="13">කිරි බීමෙන් ජීවත් වන්නා ළදරුවෙකු බැවින් ඔහුට ධර්මිෂ්ඨකම පිළිබඳ හැඟීමක් නැත.</verse>
				<verse number="14">එහෙත් ඝන ආහාර අවශ්‍ය වන්නේ හොඳ නරක විමසා බැලීමට අත්දැකීමෙන් තියුණු වූ ඉඳුරන් ඇති මුහුකුරා ගිය පුද්ගලයන්ට ය.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">එබැවින් ක්‍රිස්තුන් වහන්සේගේ මූලික ඉගැන්වීම් පසුකර යමු. නිෂ්ඵල ක්‍රියාවලින් හැරීම ද දෙවියන් වහන්සේ කෙරේ ඇදහීම ද</verse>
				<verse number="2">බව්තීස්ම-ස්නාපනය ද අත් තැබීම ද මළවුන්ගේ උත්ථානය ද සදාතන විනිශ්චය ද යන මේවා පිළිබඳ ඉගැන්වීම් ගැන නැවත වෙහෙසීමට වුවමනාවක් නැත. ඒ වෙනුවට පරිණත ධර්මය කරා ඉදිරියට යමු.</verse>
				<verse number="3">දෙවියන් වහන්සේ කැමැති සේක් නම් අපි එසේ කරමු.</verse>
				<verse number="4">වරක් දහම් එළියෙන් පැහැදීම ලැබූවන් වැටී ගිය විට ඔවුන් නැවත පසුතැවී සිත් හරවා ගැනීමට පැමිණවීම කළ නොහැකි ය. ඔව්හු ස්වර්ගීය දීමනාව රසාස්වාදනය කර, ශුද්ධාත්මයාණන් සමඟ පංගුකාරයෝ වූ හ.</verse>
				<verse number="5">දේව වචනය යහපත් බව ද, එන්නට තිබෙන යුගයේ බලවේගයන් ද ඔව්හු අත්දැකීමෙන් දැනගත්හ.</verse>
				<verse number="6">ඔවුන් නැවත වැටී ගියොත් නැවත පාපයෙන් හරවාගැනීමට නුපුළුවන, මන්ද ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්, නැවතත් කුරුසියේ ඇණ ගසා උන් වහන්සේට ප්‍රසිද්ධියේ නින්දා කරති.</verse>
				<verse number="7">වරින් වර වහින වැහි වතුර උරාගනිමින් ගොවීන්ට සුදුසු අස්වැන්නක් දෙන පොළොවට දෙවියන් වහන්සේගෙන් ආශීර්වාද ලැබේ.</verse>
				<verse number="8">එහෙත් ඒ පොළොව කටු ගස් ද, ගොකටු ද දරයි නම් ඉන් වැදගැම්මක් නැත; සාපය ඒ පිට පැමිණෙයි. දැවී යාමෙන් එය අවසන් වේ.</verse>
				<verse number="9">එහෙත් ප්‍රේමවන්තයෙනි, අප මෙසේ කතා කළත්, ගැළවීම ගෙන දෙන වඩා යහපත් දේ ඔබට ඇති බව අපි නිසැක ව ම විශ්වාස කරමු.</verse>
				<verse number="10">මන්ද, ඔබගේ සේවය ද, ඔබ සැදැහැවතුන්ට කළා වූ, කරන්නා වූ උපස්ථානයෙන් දෙවියන් වහන්සේගේ නාමයට පෙන්වූ ප්‍රේමය ද අමතක කිරීමට තරම් උන් වහන්සේ අසාධාරණ නොවන සේක.</verse>
				<verse number="11">එහෙත් ඔබ එකිනෙකා අග දක්වා ම බලාපොරොත්තු මුදුන්පත් වන තෙක්, එම උද්‍යෝගය පෙන්වනවාට අපි ආශා වෙමු.</verse>
				<verse number="12">තවද ඔබ අලස නොවී, ඇදහීමෙන් හා ඉවසීමෙන් යුතු ව පොරොන්දු උරුම කරගන්නන් අනුගමනය කිරීම අපේ ආශාව ය.</verse>
				<verse number="13">මෙසේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ප්‍රතිඥා දුන් කල, දිවුරුම් දීම සඳහා තමන්ට වඩා ශ්‍රේෂ්ඨ නාමයක් නැති බැවින් තමන්ගේ ම නාමයෙන් දිවුරමින්;</verse>
				<verse number="14">“සැබැවින් ම නුඹට අතිශයින් ආශීර්වාද කරන්නෙමි, නුඹේ දරු පරම්පරා බොහෝ වැඩි කරන්නෙමි”යි වදාළ සේක.</verse>
				<verse number="15">එසේ ඔහු ඉවසිල්ලෙන් සිට ඒ පොරොන්දුව ලබා ගත්තේ ය.</verse>
				<verse number="16">සැබැවින් ම මනුෂ්‍යයෝ තමන්ට වඩා ශ්‍රේෂ්ඨයෙකුගේ නාමයෙන් දිවුරති. ඔවුන්ගේ සියලු වාද විවාද නිමාවකට ගෙනෙන්නේ දිවුරා දෙන සහතිකයකිනි.</verse>
				<verse number="17">එමෙන් ම දෙවියන් වහන්සේ: පොරොන්දුව උරුම කරගන්නන්ට තමන් වහන්සේගේ අරමුණ වෙනස් නොවන බව පැහැදිලි ලෙස පෙන්වන පිණිස, දිවුරුමකින් එය සහතික කළ සේක.</verse>
				<verse number="18">මෙසේ දෙවියන් වහන්සේ විසින් බොරු කළ නොහැකි වෙනස් කළ නොහැකි පොරොන්දුව ද දිවිරීම ද යන කරුණු දෙකක් ඇත. ඒ නිසා අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව අත්කරගැනීමට, ආරක්ෂාව සොයා පැමිණි අපට මහත් ධෛර්යයක් ලැබී ඇත.</verse>
				<verse number="19">අප සතු මේ බලාපොරොත්තුව ආත්මයේ නැංගුරමක් වැනි ය. එය සුරක්ෂිත ය, ස්ථීර ය. එය වනාහි දේව මාලිගාවේ තිරයෙන් ඇතුළට, ශුද්ධස්ථානයට අප පමුණුවන බලාපොරොත්තුව ය.</verse>
				<verse number="20">ජේසුස් වහන්සේ මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙළ අනුව, සදහට ම උත්තම පූජකයෙකු වී අප උදෙසා පුරෝගාමියෙකු වශයෙන් එතැනට පිවිසි සේක.</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">මේ මෙල්කිසදෙක් තෙමේ සාලෙම්හි රජ ද පරමෝත්තම දෙවියන් වහන්සේගේ පූජකයෙක් ද විය. ආබ්‍රහම් රජවරුන් පලවා හැර පෙරළා එද්දී මේ මෙල්කිසදෙක් ඔහු හමු වී ඔහුට ආශීර්වාද කෙළේ ය.</verse>
				<verse number="2">ආබ්‍රහම් තමා සතු සියල්ලෙන් දසයෙන් කොටස ඔහුට දුන්නේ ය. පළමු ව මෙල්කිසදෙක් යන නාමයේ අර්ථය ‘ධර්මිෂ්ඨකමේ රජු’ යනුයි. දෙවනු ව, ඔහු සාලෙම්හි රජ වූ බැවින්, ඔහුගේ නාමයේ අර්ථය ‘සාමයේ රජු’ යනු ද විය.</verse>
				<verse number="3">තවද ඔහුගේ පියාගේ හෝ මවගේ හෝ පෙළපත ගැනවත්, උපත හෝ මරණය හෝ ගැනවත් සටහනක් නැත. මේ තෙමේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් හා සමාන ය; ඔහු සදහට ම පූජකයෙක් ව සිටියි.</verse>
				<verse number="4">මෙසේ මොහු කොතරම් ශ්‍රේෂ්ඨ දැ යි කල්පනා කරන්න.</verse>
				<verse number="5">ආදි පිතෘවර ආබ්‍රහම් පවා තමා පැහැරගත් දෙයින් දසයෙන් කොටස ඔහුට දුන්නේ ය. ලෙවීගේ පුත්‍රයන් අතරෙන් පූජක පදවිය ලබන්නෝ ව්‍යවස්ථාව අනුව ජනතාවගෙන්, එනම්, ආබ්‍රහම්ගෙන් පැවත එන සිය සොහොයුරන්ගෙන් පවා, දසයෙන් කොටස ගන්නට බලය ලැබ සිටිති.</verse>
				<verse number="6">එහෙත් ඔවුන්ගේ පෙළපතට ඇතුළත් නො වූ මේ තැනැත්තා දසයෙන් කොටස ආබ්‍රහම්ගෙන් ලබාගෙන, පොරොන්දු හිමි වූ ඔහුට ආශීර්වාද කෙළේ ය.</verse>
				<verse number="7">ආශීර්වාද කරන්නේ උසස් අය විසින් පහත් අයට බව වාද රහිත ය.</verse>
				<verse number="8">එක අතකින් දසයෙන් කොටස ලබන පූජකයෝ මිය යන්නෝ වෙති; අනෙක් අතින් දසයෙන් කොටස ලැබූ මෙල්කිසදෙක් ජීවමාන ව සිටින බවට සහතිකයක් ලද්දෙකි.</verse>
				<verse number="9">ඇරත් දසයෙන් කොටස ලැබූ ලෙවී පවා ආබ්‍රහම් හේතුකොටගෙන දසයෙන් කොටස ගෙවූ බව කිව හැකි ය.</verse>
				<verse number="10">මන්ද, මෙල්කිසදෙක් ආබ්‍රහම්ට හමු වූ විට ලෙවී තම ආදි පියා තුළ සිටියේ ය.</verse>
				<verse number="11">ඉශ්රායෙල් සෙනඟට ව්‍යවස්ථාව දෙන ලද්දේ ලෙවීගේ පූජකත්වය සම්බන්ධ කරගෙන ය. ඒ පූජකත්වය හේතුකොටගෙන පූර්ණත්වය ලැබී නම්, ආරොන්ගේ පූජක පිළිවෙළ අනුව නො වූ, මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙළ අනුව වෙන පූජකයෙකුගේ පහළ වීම ගැන කතා කරන්නේ කෙසේ ද?</verse>
				<verse number="12">මන්ද, පූජකත්වය වෙනස් වුවහොත් ව්‍යවස්ථාවත් වෙනස් විය යුතු ම ය.</verse>
				<verse number="13">එසේය, යමෙකු ගැන මේ දේ කියන ලද්දේ ද, ඒ තැනැන් වහන්සේ වෙන ගෝත්‍රයකට අයිති වූ සේක. ඒ ගෝත්‍රයෙන් කිසිවෙක් පූජාසනය ළඟ සේවය නොකෙළේ ය.</verse>
				<verse number="14">මන්ද, අපගේ සමිඳාණන් වහන්සේ ජුදා ගෝත්‍රයෙන් පහළ වූ බව ඉතා පැහැදිලි ය. පූජකයන් ගැන කතා කිරීමේ දී මෝසෙස් ඒ ගෝත්‍රය ගැන කිසිවක් කීවේ නැත.</verse>
				<verse number="15">මෙල්කිසදෙක්ට සමාන අන් පූජකයෙකු පැමිණි නිසා මේ කරුණ වඩාත් පැහැදිලි ය.</verse>
				<verse number="16">උන් වහන්සේ පූජකයෙකු වූයේ මනුෂ්‍ය නීති රීති අනුව නොව, අමරණීය ජීවිතයක බල මහිමය අනුව ය.</verse>
				<verse number="17">මන්ද: “ඔබ මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙළ අනුව සදහට ම පූජකයෙක් වන සේකැ”යි උන් වහන්සේ ගැන සාක්ෂි දී තිබේ.</verse>
				<verse number="18">පළමු තිබුණු ව්‍යවස්ථාවේ දුර්වලත්වයත් නිෂ්ඵලකමත් නිසා එය අවලංගු වී ඇත. මන්ද, ව්‍යවස්ථාව මඟින් කිසිවක් සම්පූර්ණ නො වී ය.</verse>
				<verse number="19">එහෙත් දැන් වඩා අගනා බලාපොරොත්තුවක් උදා වී ඇත. ඒ බලාපොරොත්තුව මඟින් අපි දෙවියන් වහන්සේ වෙත ළඟා වෙමු.</verse>
				<verse number="20">තවද, දිවුරුම් දීමක් ද ඇත. ලෙවීය පූජකයන් පත් කිරීමේ දී දිවුරුම් දීමක් නො වී ය.</verse>
				<verse number="21">එහෙත් උන් වහන්සේ පූජකයෙකු වූයේ දිවුරුම් දීමක් ඇති ව ය. ඒ බව ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත: “ ‘ඔබ සදහට ම පූජකයෙකැ’යි සමිඳාණන් වහන්සේ දිවුරුම් දුන් සේක, ඒ දිවුරුම උන් වහන්සේ නිෂ්ප්‍රභ නොකරන සේක.”</verse>
				<verse number="22">මෙසේ ජේසුස් වහන්සේ වඩා උතුම් ගිවිසුමක ඇපකාරයාණන් ද වී සිටින සේක.</verse>
				<verse number="23">තවද, මරණය හේතුකොටගෙන පූජක පදවියෙහි පවතින්නට පූජකවරුන්ට නොහැකි වූ බැවින් පූජක සංබ්‍යාව, විශාල විය.</verse>
				<verse number="24">එහෙත් ජේසුස් වහන්සේ සදහට ම පවතින හෙයින් උන් වහන්සේගේ පූජක ධූරය අන් කෙනෙකුට පැවරිය නොහැකි ය.</verse>
				<verse number="25">එබැවින් උන් වහන්සේ මඟින් දෙවියන් වහන්සේ වෙතට ළඟා වන්නන් සදහට ම ගළවන්නට උන් වහන්සේට පිළිවන. මන්ද, ඔවුන් උදෙසා මැදහත් වීමට උන් වහන්සේ සදහට ම ජීවත් වන බැවිනි.</verse>
				<verse number="26">අපට යෝග්‍ය වන්නෙත් එබඳු ධාර්මික, නිර්දෝෂ, නිර්මල, පව්කාරයන්ගෙන් වෙන් වූ, අහස් මඬල ඉක්මවා වැජඹෙන උත්තම පූජකයෙක් ම ය.</verse>
				<verse number="27">අන් උත්තම පූජකයන් මෙන්, පළමු කොට තමන්ගේ ම පව් උදෙසාත්, දෙවනු ව ජනතාවගේ පව් උදෙසාත් දිනපතා පූජා ඔප්පු කිරීමට උන් වහන්සේට වුවමනාවක් නැත. මන්ද, උන් වහන්සේ තමන් ම එක ම වරක් පූජා වීමෙන් ඒ වුවමනාව ඉටු කළ සේක.</verse>
				<verse number="28">දුර්වලකම් ඇති මනුෂ්‍යයෝ උත්තම පූජකයන් කොට ව්‍යවස්ථාවෙන් පත් කරනු ලැබෙත්. එහෙත් ව්‍යවස්ථාවෙන් පසුව පැමිණි දිවුරුමේ වචනයෙන් සදහට ම සම්පූර්ණ ව සිටින පුත්‍රයාණෝ පත් කරනු ලැබූ හ.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">අප කියන ප්‍රධාන දෙය නම්, එවැනි උත්තම පූජකයෙකු අපට සිටින බව ය. උන් වහන්සේ ස්වර්ගවල මහෝත්තමයාණන්ගේ සිංහාසනයේ, දකුණත අසුන් ගෙන,</verse>
				<verse number="2">මනුෂ්‍යයා විසින් නොව සමිඳාණන් වහන්සේ විසින් සාදන ලද ශුද්ධස්ථානය වන සැබෑ මණ්ඩපයේ සේවය කරන සේක.</verse>
				<verse number="3">සියලු නායක පූජකයෝ පඬුරු හා පූජා ඔප්පු කරන පිණිස පත් කරනු ලබන්නාහ. එහෙයින් පූජා ඔප්පු කිරීමට මේ නායක පූජකයාටත් යම් කිසිවක් තිබිය යුතු ය.</verse>
				<verse number="4">උන් වහන්සේ තවමත් මිහි පිට සිටින සේක් නම්, උන් වහන්සේට කිසි සේත් පූජකයෙකු විය නොහැකි ය. මන්ද, ව්‍යවස්ථා අනුව පඬුරු ඔප්පු කරන පූජකයන් සිටින බැවිනි.</verse>
				<verse number="5">මෝසෙස් මණ්ඩපය සාදන්නට යන කල: “කන්දේ දී නුඹට පෙන්වන ලද සැලැස්ම අනුව සියල්ල සාදන්නට බලාගනින්නැ”යි දෙවියන් වහන්සේ ආඥා කළ සේක. ඒ පූජකයෝ එලෙස ස්වර්ගීය දේවල සටහන හා ඡායාවක් ව තිබෙන දේවලට සේවය කරති.</verse>
				<verse number="6">එහෙත් දැන් උන් වහන්සේ වඩා උතුම් පොරොන්දු පිට පිහිටුවන ලද වඩා විශිෂ්ට ගිවිසුමක මැදහත්කාරයාණන් ව සිටින සේ ම උන් වහන්සේ වඩා උතුම් සේවක ධුරයක් ලැබූ සේක:</verse>
				<verse number="7">පළමු වන ගිවිසුම නිදොස් ව තිබුණා නම්, දෙ වන ගිවිසුමක් සෙවීම අවශ්‍ය නොවේ.</verse>
				<verse number="8">එහෙත් දෙවියන් වහන්සේ ඔවුන්ට දොස් නඟමින් මෙසේ වදාරන සේක: “බලන්න, මා ඉශ්රායෙල් වංශය හා ජුදා වංශය සමඟ අලුත් ගිවිසුමක් කරන දිනයක් පැමිණෙන්නේ ය.</verse>
				<verse number="9">එය මිසර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙනෙන පිණිස මා ඔවුන් අතින් අල්ලාගත් දවසේ දී ඔවුන් සමඟ කළ ගිවිසුම මෙන් නොවේ; මන්ද, ඔව්හු මාගේ ගිවිසුමෙහි නොපැවතුණාහ, මම ද ඔවුන් නොසලකා හැරියෙමි.</verse>
				<verse number="10">ඒ දවස්වලට පසු මා විසින් ඉශ්රායෙල් වංශය සමඟ කරන ගිවිසුම නම්: මාගේ ව්‍යවස්ථාව ඔවුන්ගේ මනසෙහි සටහන් කර, ඒවා ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි, ඔව්හු ද මාගේ සෙනඟ වන්නෝ ය.</verse>
				<verse number="11">සමිඳාණන් වහන්සේ දැනගන්න කියා එකිනෙකා තමාගේ පුරවැසියාටත්, සහෝදරයාටත් නූගන්වන්නේ ය. මන්ද, ඔවුන් අතර ලොකු කුඩා සියල්ලෝ ම මා දැනගන්නෝ ය.</verse>
				<verse number="12">මම ඔවුන්ගේ අදමිටුකම් දයාවෙන් ඉවසමි. ඔවුන්ගේ පව් ද තවත් සිහි නොකරන්නෙමි.”</verse>
				<verse number="13">අලුත් ගිවිසුම යයි කීමෙන් පළමු වැනි ගිවිසුම පරණ වූවක් කළ සේක. පරණ වෙමින් දිරා යන දෙය අතුරුදහන් වීමට ළඟ ය.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">සැබැවින් ම පළමු වන ගිවිසුම සම්බන්ධයෙන් පවා පූජා විධාන ද භෞමික ශුද්ධස්ථානයක් ද තිබුණේ ය.</verse>
				<verse number="2">එතැන මණ්ඩපයක් ඉදි කරන ලදී. එහි පළමු වන කොටසෙහි පහන් රුක ද මේසය ද පිදුම් රොටි ද තිබුණේ ය. එය ශුද්ධස්ථානය නම් විය.</verse>
				<verse number="3">දෙ වන තිරය පිටුපස අතිශුද්ධස්ථානය යයි නම් ලත් මණ්ඩපය තිබිණි.</verse>
				<verse number="4">එහි රන්මුවා ධූම පූජාසනය ද සහමුලින් රන් ආලේප කළ ගිවිසුම් කරඬුව ද තිබුණේ ය. ඒ කරඬුවේ මන්නා දැමූ රන් බඳුන ද ආරොන්ගේ දලු ලෑ සැරයටිය ද ගිවිසුමේ ශිලාලේඛන ද විය.</verse>
				<verse number="5">ඒ මත කෙරුබ්වරු දිව්‍ය තේජසින් කරුණාසනය වසා සිටියහ. දැන් මේවා ගැන දීර්ඝ විස්තරයක් කිරීමට ඉඩක් නැත.</verse>
				<verse number="6">මේ දේවල් මෙසේ පිළියෙළ කොට තිබිය දී, පූජකයෝ සිය පුදපූජා ඉටු කිරීමට පළමු වන මණ්ඩපයට ඇතුළු වෙති.</verse>
				<verse number="7">එහෙත් දෙ වන මණ්ඩපයට නායක පූජකයා පමණක් වසරකට වරක් ඇතුළු වේ. ඔහු තමා උදෙසාත්, සෙනඟගේ පව් උදෙසාත් ඔප්පු කරන පිණිස ලේ රැගෙන එහි ඇතුළු වෙයි.</verse>
				<verse number="8">ඒ පළමු වන මණ්ඩපය තිබෙන තුරු ශුද්ධස්ථානයට පැමිණෙන මාර්ගය ප්‍රකාශ වී නැති බව මෙයින් ශුද්ධාත්මයාණන් වහන්සේ පැහැදිලි ව පෙන්වන සේක.</verse>
				<verse number="9">මේ සියල්ල වර්තමාන තත්ත්වය හඟවන සංකේතයකි. එහි නියම කර ඇති පඬුරු හා පූජා ඒවා ඔප්පු කරන්නා හට අභ්‍යන්තර පරිපූර්ණත්වයක් ගෙන නොදෙයි.</verse>
				<verse number="10">මේවා කෑමබීමවලින් හා විවිධාකාර ආගමික ධෝවනවලින් සමන්විත බාහිර වත්පිළිවෙත් පමණකි. මේවා පවතින්නේ දෙවියන් වහන්සේ සියල්ල සංශෝධනය කරන තුරු පමණ ය.</verse>
				<verse number="11">එහෙත් ක්‍රිස්තුන් වහන්සේ දැනට ම ඇති යහපත් දේ පිළිබඳ උත්තම පූජකයාණන් වශයෙන් පැමිණි විට, උන් වහන්සේ වඩා උතුම් හා වඩා සම්පූර්ණ, මිනිස් අතින් නොසෑදූ, එනම්, මේ භෞතික මැවිල්ලට අයිති නොවන මණ්ඩපය මැදින් වැඩිය සේක.</verse>
				<verse number="12">උන් වහන්සේ එළුවන්ගේත්, වස්සන්ගේත් ලෙයින් නොව, තමන්ගේ ම ලෙයින් අප උදෙසා සදාතන විමුක්තිය ලබා සදහට ම එක වරක් ශුද්ධස්ථානයට ඇතුළු වූ සේක.</verse>
				<verse number="13">මන්ද, වත්පිළිවෙත් අනුව අපවිත්‍ර යයි සලකන අය මත එළුවන්ගේත්, ගොනුන්ගේත් ලේ ද, එළ වැස්සියකගේ අළු ද ඉසීමෙන්, ඔව්හු පාරිශුද්ධිය ලබන්නාහු ය.</verse>
				<verse number="14">එසේ නම්, ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබගේ හෘදය සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින් පිරිසිදු කරනු ලැබීම, සදාතන ආත්මයාණන් මඟින් තමන් ම කැළලක් නැති ව දෙවියන් වහන්සේට පූජා වූ, ක්‍රිස්තුන් වහන්සේගේ ලේ කරණකොටගෙන, ඊටත් ඉතා වැඩියෙන් පිරිසිදු නොවන්නේ ද?</verse>
				<verse number="15">මේ කාරණය නිසා, කැඳවනු ලැබූවන්ට සදාතන උරුමයේ පොරොන්දුව ලැබෙන පිණිස උන් වහන්සේ අලුත් ගිවිසුමක මැදහත් කාරයාණෝ වන සේක. එසේ වන්නේ පළමු වන ගිවිසුමේ කාලයේ දී කළ පාප ක්‍රියාවලින් මුදනු ලැබීම පිණිස මරණයක් සිදු වූ බැවිනි.</verse>
				<verse number="16">අන්තිම කැමැති පත්‍රයක් වලංගු වීමට නම්, එහි අත්සන් කළ තැනැත්තා මළ බව ඔප්පු කළ යුතු ය.</verse>
				<verse number="17">එවැනි ගිවිසුමක් ස්ථීර වන්නේ මරණයෙන් පසු ව ය. ගිවිසුම කළ තැනැත්තා ජීවත් ව සිටිනතුරු එය කොහෙත් ම වලංගු නැත.</verse>
				<verse number="18">පළමු වන ගිවිසුම වුව ද ලේ නැති ව පිහිටුවනු නොලැබුවේ ඒ නිසා ය.</verse>
				<verse number="19">මන්ද, මෝසෙස් ව්‍යවස්ථාව අනුව මුළු ජනතාවට සියලු ආඥා කියා දුන් පසු, වස්සන්ගේත්, එළුවන්ගේත් ලේ සමඟ වතුර ද රතු ලොම් ද හිසොප් ද ගෙන:</verse>
				<verse number="20">“මේවා දෙවියන් වහන්සේ විසින් ඔබ ගැන නියෝග කළ ගිවිසුමේ ලේ ය”යි කියමින් පොතත් මුළු ජනතාවත් මත ඉස්සේ ය.</verse>
				<verse number="21">එසේ ම ඔහු මණ්ඩපයටත්, සියලු තේවා භාජනවලටත් ලේ ඉස්සේ ය.</verse>
				<verse number="22">ව්‍යවස්ථාව අනුව සියලු දෙය ම ලෙයින් පවිත්‍ර කරනු ලැබේ යයි කිව හැකි ය. ලේ වැගිරීමක් නැති ව පව් කමාවක් නැත.</verse>
				<verse number="23">එබැවින් ස්වර්ගීක දේවල අනුරූ පූජාවලින් පවිත්‍ර කිරීම අවශ්‍ය වී නම්, ස්වර්ගීක දේවල් මීට වඩා උතුම් පූජාවලින් පවිත්‍ර කරනු ලැබිය යුතු ය.</verse>
				<verse number="24">මන්ද, ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා දෙවියන් වහන්සේ අබිමුවෙහි දැන් පෙනී සිටින පිණිස, නියම ශුද්ධස්ථානයේ ආදර්ශය ලෙස අතින් සැදූ ශුද්ධස්ථානයකට නොව, ස්වර්ගයට ම ඇතුළු වූ සේක.</verse>
				<verse number="25">නායක පූජකයා අනුන්ගේ ලේ රැගෙන අවුරුදුපතා ශුද්ධස්ථානයට, ඇතුළු වන්නාක් මෙන්, උන් වහන්සේ නැවත නැවතත් තමන් ම ඔප්පු කරන පිණිස ඇතුළු නො වූ සේක.</verse>
				<verse number="26">එසේ නොවූයේ නම්, ලෝකය මැවීමේ පටන් නොයෙක් වර, උන් වහන්සේට වද වේදනා විඳීම අවශ්‍ය වනු ඇත. එහෙත් උන් වහන්සේ තමන් ම පූජා කිරීමෙන් පාපය දුරු කරන පිණිස මේ යුගාන්තයේ දී සදහට ම එක වරක් ප්‍රකාශ වූ සේක.</verse>
				<verse number="27">තවද එක වරක් මරණයත්, ඉන්පසු විනිශ්චයත් මිනිසාට නියම ව ඇති සේ ම,</verse>
				<verse number="28">බොහෝ දෙනෙකුගේ පව් දුරු කරන පිණිස එක ම වරක් ක්‍රිස්තුන් වහන්සේ දිවි පිදූ සේක. තවද, පාපය දුරු කරන පිණිස නොව, උන් වහන්සේගේ ආගමනය බලා සිටින්නන්ට ගැළවීම දෙන පිණිස, උන් වහන්සේ දෙ වන වර ප්‍රකාශ වන සේක.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">ව්‍යවස්ථාව වනාහි මතු පැමිණෙන යහපත් දේවල ඡායාවක් මිස එහි නියම රූපය ම නොවේ. ඔවුන් වසරක් පාසා, නැවත නැවත ඔප්පු කරන එම පූජාවලින් පුදපූජා කරන්නන් පරිපූර්ණ කිරීමට කවදාවත් ව්‍යවස්ථාවට නොහැකි ය. එසේ කළ හැකි නම්,</verse>
				<verse number="2">පුදපූජා කරන්නන් වරක් පවිත්‍ර කරනු ලැබූ නිසා, තවත් ඔවුන්ට පාප හැඟීමක් නැති බැවින්, ඒ පූජා ඔප්පු කිරීම නවතින්නේ ය.</verse>
				<verse number="3">එහෙත් ඒ යාගවලින් සිදුවන්නේ අවුරුදුපතා මිනිසුන්ට ඔවුන්ගේ පව් සිහි කර දීමකි.</verse>
				<verse number="4">ගොනුන්ගේත්, එළුවන්ගේත් ලෙයින් පව් පහකර දැමීමක් සිදු නොවේ.</verse>
				<verse number="5">එහෙයින්, ක්‍රිස්තුන් වහන්සේ ලෝකයට වඩින කල දෙවියන් වහන්සේට මෙසේ වදාළ සේක: “ඔබට පුද පඬුරු රිසි නැත. එහෙත් ඔබ මට සිරුරක් සූදානම් කළ සේක;</verse>
				<verse number="6">දවන පූජා හා පාප පූජා කිසිත් ඔබ සිත් නොගනියි,</verse>
				<verse number="7">එසේ හෙයින්: දෙවිඳුනි, පොත් වෙළුමේ මා ගැන ලියා ඇති සේ, ඔබ රිසි දේ කරනු වස් මෙන්න, මම ඇවිත් සිටිමි.”</verse>
				<verse number="8">ව්‍යවස්ථාව අනුව ඔප්පු කරන පුදපඬුරුවලටත්, දවන පූජාවලටත්, පාප පූජාවලටත් ඔබ කැමැති වන්නේ වත් සතුටු වන්නේ වත් නැතැ යි ඉහත කියා:</verse>
				<verse number="9">“මෙන්න ඔබගේ කැමැත්ත කරන්නට මම පැමිණ සිටිමි”යි උන් වහන්සේ දෙවනු ව වදාළ සේක. උන් වහන්සේ දෙවැන්න පිහිටුවන පිණිස පළමුවැන්න අවලංගු කරන සේක.</verse>
				<verse number="10">ඒ කැමැත්ත පරිදි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය සදහට ම එක වරක් පූජා කිරීමෙන් අපි පාරිශුද්ධිය ලැබ සිටිමු.</verse>
				<verse number="11">තවද හැම පූජකයෙක් ම සිටගෙන, දවස්පතා තේවා ඉටු කරමින්, කිසිකලෙකත් පව් නසාලීමට නොහැකි වූ එම පූජාවන් බොහෝ වර ඔප්පු කරයි.</verse>
				<verse number="12">එහෙත් උන් වහන්සේ පව් උදෙසා සදහට ම එක ම පූජාවක් ඔප්පු කොට, දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන් ගත් සේක.</verse>
				<verse number="13">එහි උන් වහන්සේ සිය සතුරන් තම පාපුටුව කරනු ලබන තුරු බලා සිටින සේක.</verse>
				<verse number="14">මන්ද, උන් වහන්සේ පවිත්‍ර කරනු ලබන්නන් එක ම පූජාවකින් සදාතනික පරිපූර්ණත්වයට ගෙනා සේක.</verse>
				<verse number="15">ශුද්ධාත්මයාණන් වහන්සේත් අපට සාක්ෂි දෙමින්:</verse>
				<verse number="16">“ඒ දවස්වලින් පසු මා ඔවුන් සමඟ කරන ගිවිසුම නම්, මාගේ ව්‍යවස්ථා ඔවුන්ගේ සිත්වල තබා, ඒවා ඔවුන්ගේ මනසෙහි ලියන්නෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කී පසු, යළිත්:</verse>
				<verse number="17">“ඔවුන්ගේ පාප සහ අධර්මිෂ්ඨකම් තවත් සිහි නොකරන්නෙමි”යි කියන සේක.</verse>
				<verse number="18">කමාව ඇති තැන පාප පූජා ඔප්පු කිරීමක් තවත් නැත.</verse>
				<verse number="19">එබැවින් සහෝදරවරුනි, උන් වහන්සේගේ යාගික රුධිරය හේතුකොටගෙන ශුද්ධස්ථානයට ඇතුළු වීමට අපට නිදහස තිබේ.</verse>
				<verse number="20">උන් වහන්සේ ස්වකීය ශරීරය නමැති තිරය මැදින් අප උදෙසා අලුත් ජීවමාන මාර්ගයක් විවෘත කර දුන් සේක.</verse>
				<verse number="21">තවද දෙවියන් වහන්සේගේ ගෘහවාසීන් කෙරෙහි උතුම් පූජකයෙක් ද අපට සිටියි.</verse>
				<verse number="22">එබැවින් අපි නපුරු හෘදය සාක්ෂියකින් පවිත්‍ර කරනු ලැබූ සිත් ද, පිරිසිදු වතුරෙන් ධෝවනය කළ ශරීර ද ඇති ව අවංක සිතක් හා ඒකාන්ත ඇදහීමේ සහතිකය ද ඇති ව, දෙවියන් වහන්සේ වෙත ළඟා වෙමු.</verse>
				<verse number="23">පොරොන්දුව දුන් තැනැන් වහන්සේ විශ්වාසවන්ත බැවින් අප පිළිගත් බලාපොරොත්තුවෙහි නොසෙල්වී, ස්ථීර ව පිහිටා සිටිමු.</verse>
				<verse number="24">තවද ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට අන්‍යයන් පොළඹවන පිණිස එකිනෙකා ගැන සලකමු.</verse>
				<verse number="25">ඇතැම් අය කරන ලෙස අපේ ම රැස්වීම්වලින් ඈත් ව නොසිට, සමිඳාණන් වහන්සේගේ දිනය ළං වන බව ඔබට පෙනෙන බැවින් වැඩි වැඩියෙන් එකිනෙකාට ධෛර්ය දෙමු.</verse>
				<verse number="26">සත්‍යය අවබෝධ වූ පසු අපි දැන දැන ම පව් කරමු නම්, පව් දුර ලන පූජාවක් අපට තවත් නැත.</verse>
				<verse number="27">අපට ඇත්තේ විනිශ්චය ගැනත්, විරුද්ධවාදීන් දවාලන උදහස් ගින්න ගැනත් බියෙන් බලා සිටීම පමණකි.</verse>
				<verse number="28">මෝසෙස්ගේ ව්‍යවස්ථාව නොතකා හරින අය දෙදෙනකුගේ හෝ තිදෙනකුගේ හෝ සාක්ෂි පිට අනුකම්පාවක් නැති ව මරණයට පත් වනු ඇත.</verse>
				<verse number="29">එසේ නම් දේව පුත්‍රයාණන් පයින් පාගාදමන, තමාට විශුද්ධිය දුන් ගිවිසුම් ලේ, අශුද්ධ දෙයක් කොට සිතන, වරප්‍රසාදයේ ආත්මයාණන් වහන්සේට අපහාස කරන අපි ඊටත් වඩා තද දඬුවමකට සුදුස්සෝ නොවෙමු ද?</verse>
				<verse number="30">මන්ද; “පළිගැනීම මා සතු ය, විපාක දෙන්නේ මම ය”යි ද, “සමිඳාණන් වහන්සේ තමන්ගේ සෙනඟ විනිශ්චය කරන සේකැ”යි ද, වදාළ තැනැන් වහන්සේ අපි දනිමු.</verse>
				<verse number="31">ජීවමාන දෙවියන් වහන්සේගේ අත්වලට අසු වීම භයංකර දෙයකි.</verse>
				<verse number="32">ඔබ සත්‍යාලෝකය ලැබුවායින් පසු, දුක් පීඩා හා සමඟ මහා සටනක යෙදෙමින් ස්ථීර ව සිටි ඒ මුල් කාලය සිහි කරන්න.</verse>
				<verse number="33">නින්දා සහ පීඩා නිසා ඔබ උපහාසයට ලක් කරනු ලැබුවා පමණක් නොව, එසේ ලක් කරනු ලැබූවන් සමඟ හවුල්කාරයෝ ද වූවහු ය.</verse>
				<verse number="34">ඔබ සිරකරුවන් ව සිටි අයගේ දුක් වේදනාවලට සහභාගි වූවා පමණක් නොව, වඩා විශිෂ්ට දිරා නොයන වස්තුවක් ඔබට ඇති බව දැන, ඔබේ දේපළ කොල්ලකෑම ප්‍රීතියෙන් ඉවසාගත්තහු ය.</verse>
				<verse number="35">මහත් විපාකයක් ඔබට ඇති බැවින් ඔබේ විශ්වාසය අත් නොහරින්න.</verse>
				<verse number="36">දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කොට උන් වහන්සේගේ පොරොන්දුව ලැබීමට නම් ඉවසීම ඔබට අවශ්‍ය ය.</verse>
				<verse number="37">ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත: “එන්නට සිටින තැනැන් වහන්සේ පමා නොවී, තව මඳ කලෙකින් වඩින සේක.</verse>
				<verse number="38">ඉදින් මාගේ දැහැමි තැනැත්තා ඇදහිල්ලෙන් ජීවත් වේ. එහෙත් ඔහු පසුබට වන්නේ නම්, ඔහු ගැන මට සතුටක් නැත.”</verse>
				<verse number="39">එසේ වුව ද පසුබට වී විනාශ වන අයගේ ගණයට අපි අයිති නොවෙමු. විමුක්තිය ගෙන දෙන ඇදහීම අපට ඇත.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">ඇදහිල්ල වනාහි බලාපොරොත්තු වන දේ පිළිබඳ සහතිකය යි. අදෘශ්‍යමාන දේ පිළිබඳ නිසැකකම යි.</verse>
				<verse number="2">තමන්ගේ ඇදහිල්ල නිසා අපේ මුතුන්මිත්තෝ දෙවියන් වහන්සේට ප්‍රිය මනාප වූ හ.</verse>
				<verse number="3">දෙවියන් වහන්සේගේ වචනයෙන් විශ්වය මවනු ලැබූ බව අප තේරුම් ගන්නේ ඇදහිල්ලෙන් ය. මෙසේ දෘශ්‍යමාන දෙය, අදෘශ්‍යමාන දෙයින් පහළ වූ බව පෙනී යයි.</verse>
				<verse number="4">ඇදහිල්ලෙන්, ආබෙල් කායින්ට වඩා විශිෂ්ට පූජාවක් දෙවියන් වහන්සේට පුද කෙළේ ය. ඔහුගේ පූජා ගැන දෙවියන් වහන්සේ ප්‍රසන්න වූ බැවින්, ඇදහිල්ලෙන් ඔහු ධර්මිෂ්ඨයෙකු බවට පත් කරනු ලැබී ය. ඔහු මියගිය ද ඇදහිල්ලෙන් දැනුත් කතා කරයි.</verse>
				<verse number="5">ඇදහිල්ලෙන්, ඒනොක් මරණය නොවිඳ ගෙනයනු ලැබී ය; දෙවියන් වහන්සේ ඔහු ගෙන ගිය බැවින් ඔහු ජීවතුන් අතර නො වී ය. ඔහුගේ තුරන් වීමට පෙර, ඔහු දෙවියන් වහන්සේගේ ප්‍රසාදය දිනාගත් බවට සහතිකය ලැබී ය.</verse>
				<verse number="6">ඇදහිල්ල නැති ව උන් වහන්සේගේ ප්‍රසාදය දිනාගැනීමට පුළුවන්කමක් නැත. මන්ද, දෙවියන් වහන්සේ වෙත ළඟා වන්නා උන් වහන්සේ ජීවත් වන බවත්, උන් වහන්සේ සොයා එන්නවුන්ට ඉෂ්ට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කළ යුතු ය.</verse>
				<verse number="7">ඇදහිල්ලෙන්, නෝවා දැකගත නොහැකි දේ ගැන දෙවියන් වහන්සේ විසින් දන්වනු ලැබ, දේව ගරුබියෙන් ඇලළී සිය පවුලේ අය ගළවාගැනීම සඳහා නැවක් සෑදුවේ ය. ඒ ඇදහිල්ලෙන් ඔහු ලෝකයා වරදට පත්කොට, ඇදහිල්ලෙන් පැමිණෙන දමිටු බවට උරුමක්කාරයෙක් විය.</verse>
				<verse number="8">ඇදහිල්ලෙන්, ආබ්‍රහම් කැඳවීම ලැබූ කල, තමා යන්නේ කොහේ දැ යි නොදැන, තමාට උරුමයක් පිණිස පසු ව ලැබෙන්නට යන ස්ථානයකට පිටත් ව යන ලෙස කීකරු වී, නික්ම ගියේ ය.</verse>
				<verse number="9">ඇදහිල්ලෙන්, ඔහු ආගන්තුකයෙකු මෙන් දෙවියන් වහන්සේ පොරොන්දු වූ දේශයෙහි පදිංචි වී, එම පොරොන්දුවට හිමිකාරයන් වූ ඊසාක් සහ ජාකොබ් සමඟ කූඩාරම්වල වාසය කෙළේ ය.</verse>
				<verse number="10">මන්ද, දෙවියන් වහන්සේ ම, සිය සැලැස්ම අනුව සාදා නිම කළ අත්තිවාරම් ඇති, නගරය ගැන ඔහු බලා සිටියේ ය.</verse>
				<verse number="11">ඇදහිල්ලෙන්, සාරා පොරොන්දුව දුන් තැනැන් වහන්සේ විශ්වාස කටයුතු කෙනෙකැ යි පිළිගත් නිසා, නිසි වයස ඉක්මවා ගිය ද පිළිසිඳගැනීමේ ශක්තිය ලැබුවා ය.</verse>
				<verse number="12">එහෙයින් මළ කෙනෙකු වැනි තැනැත්තෙකුගෙන් පවා, ගණනින් අහසේ තරු මෙන් ද, මුහුදු වෙරළේ අසංබ්‍ය වැලි ඇට මෙන් ද වූ විශාල පරපුරක් ඇති විය.</verse>
				<verse number="13">ඇදහිල්ලෙහි පිහිටා සිටි මොවුහු සියල්ලෝ ම මියගිය හ. ඔව්හු පොරොන්දු වූ දේ නොලැබූ නමුත්, ඒවා කල්තියා දැක සතුටින් පිළිගෙන, මිහි පිට තමන් ආගන්තුකයන් ද කලක් නේවාසිකයන් ද බව ප්‍රකාශ කළහ.</verse>
				<verse number="14">මෙබඳු දේ ප්‍රකාශ කරන අය, තමන්ගේ ම මවුබිමක් සොයන බව මැනවින් පැහැදිලි කරති.</verse>
				<verse number="15">ඔව්හු තමන් හැරදමා ආ රට ගැන ම සිත සිතා සිටියහු නම්, පෙරළා එහි යාමට ඔවුන්ට අවස්ථා තිබිණි.</verse>
				<verse number="16">එහෙත් ඔව්හු දැන් වඩා උතුම් රටක්, එනම් ස්වර්ගීය රටක් දෙස සිත් යොමු කරති. දෙවියන් වහන්සේ ඔවුන්ගේ දෙවිඳාණෝ යයි කියනු ලබනවාට උන් වහන්සේ ලජ්ජා නොවන්නේ උන් වහන්සේ ඔවුන්ට නුවරක් පිළියෙළ කර තිබෙන නිසා ය.</verse>
				<verse number="17">ආබ්‍රහම් පරීක්ෂා කරනු ලැබූ කල, ඔහු ඇදහිල්ලෙන් ඊසාක් පූජා කෙළේ ය.</verse>
				<verse number="18">“ඔබේ වංශය ඊසාක්ගෙන් පැවත එන්නේ ය” යන දේව පොරොන්දුව ආබ්‍රහම් සතුටින් පිළිගත් නමුත්, සිය ඒකජාතක පුත්‍රයා පූජා කිරීමට සූදානම් ව සිටියේ ය.</verse>
				<verse number="19">මළවුන් උත්ථාන කිරීමට වුව ද දෙවියන් වහන්සේට හැකි බව ඔහු සිතට ගත්තේ ය. උපමානුසාරයෙන් කියතොත්, ඔහු ඊසාක් මරණයෙන් නැවත ලබාගත්තේ ය.</verse>
				<verse number="20">ඇදහිල්ලෙන්, ඊසාක් එන්නට ඇති දේ පිළිබඳව ජාකොබ්ට සහ ඒසව්ට ආශීර්වාද කෙළේ ය.</verse>
				<verse number="21">සිය මරණ මොහොතේ දී ජාකොබ්, ඇදහිල්ලෙන් ජෝසෙප්ගේ පුතුන්ගෙන් එක් එක්කෙනාට ආශීර්වාද කොට, සිය සැරයටිය මත හිස නමා නමස්කාර කෙළේ ය.</verse>
				<verse number="22">ජෝසෙප් තමාගේ අවසානය ළං වූ විට, ඇදහිල්ලෙන්, ඉශ්රායෙල් පුත්‍රයන්ගේ නික්මයාම සඳහන් කොට, තමාගේ ඇටකටු පිළිබඳ උපදෙස් දුන්නේ ය.</verse>
				<verse number="23">මෝසෙස් උපන් කල ඔහුගේ දෙමවුපියෝ ඔහු සුන්දර දරුවෙකු බව දැක, රාජාඥාවට බිය නොවී, ඇදහිල්ලෙන් ඔහු තුන් මසක් සඟවාගත්තෝ ය.</verse>
				<verse number="24">මෝසෙස් වැඩුණු පසු, පාරාවෝ රජුගේ දියණියන්ගේ පුත්‍රයා යයි කියනු ලැබීම ඔහු ඇදහිල්ලෙන් ප්‍රතික්ෂේප කෙළේ ය.</verse>
				<verse number="25">ඔහු කලකට පස්කම් සැප විඳීමට වඩා දෙවියන් වහන්සේගේ සෙනඟ හා සමඟ දුක් විඳීම තෝරාගත්තේ ය.</verse>
				<verse number="26">මන්ද, මතු එන්නට තිබෙන ඉෂ්ට විපාකය හිත ගත් බැවින්, මිසරයේ යසඉසුරුවලට වඩා විමුක්ති දායකයාණන් නමින් එන අවමානය මහත් සම්පතකැයි ඔහු සිතී ය.</verse>
				<verse number="27">ඇදහිල්ලෙන්, ඔහු රාජ උදහසට බිය නොවී, මිසරය අත්හැර ගියේ ය. අදෘශ්‍යමාන දෙවියන් වහන්සේ දෙනෙතින් දකින්නාක් මෙන් ඔහු ස්ථීර ව සිටියේ ය.</verse>
				<verse number="28">මාර දූතයා ඔවුන්ගේ කුලුඳුලන් විනාශ නොකරන පිණිස, ඔහු පාස්කුව හා ලේ ඉසීම ද ඇදහිල්ලෙන් පැවැත්වී ය.</verse>
				<verse number="29">ඇදහිල්ලෙන්, ඔව්හු රතු මුහුද මැදින් වියළි බිමක මෙන් ගමන් කළෝ ය. එසේ යාමට කළ ප්‍රයත්නයේ දී මිසරවරු දියේ ගිලී මළෝ ය.</verse>
				<verse number="30">සත් දිනක්, ජෙරිකෝවේ පවුරු වටා ගමන් කළ පසු, ඔවුන්ගේ ඇදහිල්ලෙන් ඒ පවුරු බිඳ වැටුණේ ය.</verse>
				<verse number="31">ගණිකාවක වූ රාහාබ්, ඇදහිල්ලෙන්, චරපුරුෂයන් හොඳ සිතින් පිළිගත් බැවින්, අකීකරු වූවන් සමඟ විනාශ නොවී ඉතිරි වූවා ය.</verse>
				<verse number="32">තවදුරටත් කීම අවශ්‍ය ද? ගිඩියොන් ද බාරක් ද සම්සොන් ද ජෙප්තා ද දාවිත් ද සාමුවෙල් ද දිවැසිවරයන් ද ගැන කීමට කල් වේලා නැත.</verse>
				<verse number="33">ඔව්හු ඇදහිල්ලෙන් රාජ්‍යයන් පරාජය කළහ. යුක්තිය ඉටු කළහ. දේව පොරොන්දු අත් කර ගත්හ, සිංහයන්ගේ කට වැසූ හ.</verse>
				<verse number="34">රෞද්‍ර ගිනි ජාලා නිවාලූ හ, කඩුපතින් නොමළහ, දුබල ව සිටි නමුත් ප්‍රබල වූ හ, රණ බිම්හි ජය කොඩි නැංවූ හ, පර සතුරු සේනා නෙරපූ හ.</verse>
				<verse number="35">ස්ත්‍රීහු සිය මළවුන් පුනරුත්ථානයෙන් නැවත ලැබූ හ. තවත් අය වඩා විශිෂ්ට පුනරුත්ථානයක් ලබන පිණිස, බේරීමක් නොසොයා මාරක වද වේදනා වින්දහ.</verse>
				<verse number="36">තවත් අය අපහාස හා කස පහරවලට ද විලංගු සහ හිර අඩස්සියට ද මුහුණ පෑ හ.</verse>
				<verse number="37">ඔව්හු ගල් පහර ලැබූ හ. කියතෙන් දෙකට ඉරනු ලැබූ හ, කඩුවෙන් මරනු ලැබූ හ. ඔව්හු අනාථ ව දුක් පීඩා විඳිමින්, බැටළු හම් හා එළු හම් ඇඳ, ඔබමොබ ගියහ.</verse>
				<verse number="38">එවැන්නන් දැරීමට මේ ලෝකය වටින්නේ නැත. ඔව්හු මරුකතරෙහි හා කඳුකරවල ද ගුහාවල ද බිම්ගෙවල ද ගැවසුණ හ.</verse>
				<verse number="39">මොවුහු සියල්ලෝ ම ඇදහිල්ල ගැන පැසසුම් ලැබූ නමුත්, පොරොන්දු නොලදහ.</verse>
				<verse number="40">එසේ වූයේ, දෙවියන් වහන්සේ අප ගැන සලකා, ඔවුන් පරිපූර්ණත්වය ලැබිය යුත්තේ අප හා සමඟ පමණකැ යි යන වඩා හොඳ සැලැස්මක් කල්තියා පිළියෙළ කොට තිබූ හෙයිනි.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">මේ සා විශාල සාක්ෂිකාර සේනාවකින් අප වට වී සිටින නිසා, සියලු අවහිර ද, පහසුවෙන් අප වෙළා ගන්නා පාපයන් ද ඉවත ලා,</verse>
				<verse number="2">ඇදහිල්ලේ කර්තෘවරයාණන් ද එහි පරිපූරකයාණන් ද වන ජේසුස් වහන්සේ දෙස ම නෙත් යොමා, අපට දිවීමට ඇති ධාවනය නොපසුබට, වීර්යයෙන් දුවමු. උන් වහන්සේ තමන් ඉදිරියෙහි වූ ප්‍රීතිය නිසා, කුරුසියේ අවමානය නොතකා, එහි වධ විඳ දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණත අසුන් ගත් සේක.</verse>
				<verse number="3">ඒ නිසා ඔබ අධෛර්ය ව විඩාවට පත් නොවන පිණිස, තමාට විරුද්ධ ව නැඟී සිටි පව්කරුවන්ගෙන් එතරම් විරෝධය ඉවසූ තැනැන් වහන්සේ ගැන සිතා බලන්න.</verse>
				<verse number="4">පාපයට විරුද්ධ ව කරන සටනෙහි දී ඔබ තව ම ලේ වගුරුවන තැනට පත් වී නැත.</verse>
				<verse number="5">දරුවන්ට මෙන් දෙවියන් වහන්සේ ඔබට වදාළ සිත් දිරිගන්වන මේ වචන ඔබ අමතක කළහු ද? “මාගේ පුත්‍රය, සමිඳාණන් වහන්සේගේ හික්මවීම් සුළු කොට නොසිතන්න, උන් වහන්සේ තරවටු කරන කල මලානික නොවන්න:</verse>
				<verse number="6">මන්ද, සමිඳාණන් වහන්සේට ප්‍රේම කරන අය උන් වහන්සේ හික්මවන සේක; පුත්‍රයන් මෙන් තමන් වහන්සේ පිළිගන්න අයට උන් වහන්සේ දඬුවම් කරන සේක.”</verse>
				<verse number="7">ඔබගේ හික්මවීම පිණිස ඒ දඬුවම ඉවසන්න; දෙවියන් වහන්සේ ඔබ ගැන පුත්‍රයන්ට මෙන් ක්‍රියා කරන සේක. තම පුත්‍රයාට දඬුවම් නොකරන පියෙක් ඇද් ද?</verse>
				<verse number="8">හැම දරුවෙකු ම ලබන දඬුවමට ඔබ පංගුකාරයෝ නොවන්නහු නම්, ඔබ පුත්‍රයන් නොව, අවජාතක දරුවෝ ය,</verse>
				<verse number="9">තවද අප හික්ම වූ මාංසික පියවරුන්ට අපි ගරුබුහුමන් කරමු නම් ඊට බොහෝ වැඩියෙන් අප ආත්මික පියාණන් වහන්සේට අවනත ව ජීවත් විය යුතු නොවේ ද?</verse>
				<verse number="10">අපේ මෙලෝ පියවරු තමන්ට හරි යයි පෙනුණු ලෙස මඳ කලකට අපට දඬුවම් කළහ; එහෙත් උන් වහන්සේ තමන්ගේ පරිශුද්ධත්වයට අප පංගුකාරයන් වන පිණිස, අපේ යහපත සඳහා දඬුවම් කරන සේක.</verse>
				<verse number="11">දඬුවමක් ලබන කල එය දුකට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් නොපෙනේ. එහෙත් එයින් හික්මුණු අයට පසු ව දැහැමි සාමකාමී ජීවිතයක පල අත් වේ.</verse>
				<verse number="12">එබැවින් පහතට වැටී ඇති අත් ද දුබල දණහිස් ද ශක්තිමත් කරගන්න.</verse>
				<verse number="13">කොර කකුල් අබලන් නොවී, සුවය ලබන පිණිස ඇද නැති මාවත්වල ගමන් කරන්න.</verse>
				<verse number="14">සියල්ලන් සමඟ සාමදානයෙන් සිටින්නටත්, ශුද්ධකම නැති ව කිසිවෙක් සමිඳාණන් වහන්සේ නොදක්නා බැවින්, ශුද්ධකම අනුව යන්නත් උත්සාහ කරන්න.</verse>
				<verse number="15">කිසිවෙකු දේව වරප්‍රසාදයෙන් බැහැර නොයන ලෙස ද, කිසිවෙකු තිත්තකමේ මූලයක් වී ගැටළු මතුකර, බොහෝ දෙනා දූෂ්‍ය නොකරන ලෙස ද,</verse>
				<verse number="16">දුශ්ශීල කෙනෙකු හෝ එක කෑම වේලක් නිසා සිය ජන්ම උරුමය විකුණු ඒසව් වැනි දේව අභක්තික කෙනෙකු හෝ නොවන ලෙස ද පරෙස්සම් වන්න.</verse>
				<verse number="17">පසු ව ඔහු ඒ ආශීර්වාදය යළි උරුම කරගැනීමට කැමැති වුව ද, ඔහු ප්‍රතික්ෂේප කරනු ලැබූ හැටි ඔබ දන්නහු ය. ඉන්පසු ඔහු කඳුළු සලමින් එය ලබාගැනීමට අවස්ථාවක් ඉතා ඕනෑකමින් සෙවූ නමුත් එවැන්නකට ඉඩක් නොලැබිණි.</verse>
				<verse number="18">ඔබ පැමිණ සිටින්නේ, ස්පර්ශ කළ හැකි ගිනි ජාලාවකට වත්, කළුවරට වත්, ඝන අන්ධකාරයට වත්, චණ්ඩ මාරුතයට වත්,</verse>
				<verse number="19">හොරණෑ ශබ්දයට වත්, හඬකින් නික්මෙන වචනවලට වත් නොවේ. ඒ හඬ ඇසූ අය තවත් ඔවුන්ට එසේ කතා නොකරන ලෙස ඉල්ලා සිටියහ.</verse>
				<verse number="20">මන්ද, “මෘගයෙකු වුව ද කන්දෙහි ගෑවුණොත්, ඌට ගල් ගසා මැරිය යුතු ය”යි කී අණ ඔවුන්ට දැරිය නොහැකි විය.</verse>
				<verse number="21">ඒ දර්ශනය කෙතරම් බියකරු වී ද යත්, “මම බියෙන් වෙවුලමි”යි මෝසෙස් කී ය.</verse>
				<verse number="22">එහෙත් ඔබ ළඟා වී සිටින්නේ සියොන් කන්දට ය; ජීවමාන දෙවියන් වහන්සේගේ නගරය වූ ස්වර්ගීය ජෙරුසලමට ය; කෝටි සංබ්‍යාත දේව දූත සේනාවන්ගෙන් යුත් මහා රැස්වීමට ය;</verse>
				<verse number="23">සගලොවෙහි නම් ලියා ඇති කුළුඳුලන්ගේ සභාවට ය; සියල්ලන්ගේ විනිශ්චයකාර දෙවියන් වහන්සේ වෙතට ය; සම්පූර්ණ ලෙස ධර්මිෂ්ඨ කරන ලද අයගේ ආත්ම වෙතට ය;</verse>
				<verse number="24">නව ගිවිසුමක මැදහත්කාරයාණන් වූ ජේසුස් වහන්සේ වෙතට ය. ආබෙල්ගේ ලෙයට වඩා උතුම් ලෙස කතා කරන උන් වහන්සේගේ ඉසීමේ ලෙය ද වෙතටත් ය.</verse>
				<verse number="25">එසේ නම් කතා කරන තැනැන් වහන්සේ ප්‍රතික්ෂේප නොකරන්නට වග බලා ගන්න. මන්ද, මිහි පිට අනුශාසනා කළ තැනැන් වහන්සේ එපා කළ විට, ඔව්හු නොගැළවුණෝ නම්, ස්වර්ගයෙන් අනුශාසනා කරන තැනැන් වහන්සේ කෙරෙන් අහක් ව ගියොත් අපි කෙසේ ගැළවෙමු ද?</verse>
				<verse number="26">උන් වහන්සේගේ ශබ්දය ඒ කාලයේ දී පොළොව කම්පා කෙළේ ය. එහෙත් දැන් උන් වහන්සේ, “මම පොළොව පමණක් නොව, ස්වර්ගයත් තව වරක් කම්පා කරවන්නෙමි”යි පොරොන්දු වී තිබේ.</verse>
				<verse number="27">‘තව වරක්’ ය කීමෙන් අදහස් කරන්නේ නොසෙල්වෙන දේ පවත්නා පිණිස සෙලවෙන දේ, එනම්, මවන ලද සියල්ල පහ වන බව ය.</verse>
				<verse number="28">එහෙයින් නොසෙල්විය හැකි රාජ්‍යයක් අප ලබන බැවින් ස්තුතිවන්ත වෙමු. එමඟින් ගෞරවයෙන් හා දේව ගරුබියෙන් දෙවියන් වහන්සේ ප්‍රසන්න වන ලෙස නමස්කාර කරමු.</verse>
				<verse number="29">මන්ද, අපගේ දෙවියන් වහන්සේ වනාහි සියල්ල දවාලන ගින්නකි.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">සහෝදරයන් ලෙස එකිනෙකාට නොකඩව ප්‍රේම කරන්න.</verse>
				<verse number="2">ආගන්තුක සත්කාරය අමතක නොකරන්න. මන්ද, ආගන්තුක සත්කාර කළ ඇතැම් අය නොදැනුවත් ව ම දේව දූතයන්ට සත්කාර කළහ.</verse>
				<verse number="3">සිර ගෙයි සිටින අය සමඟ ඔබත් සිටිනවා යයි සිතා, ඔවුන් සිහි කරන්න. ඔබටත් ශරීරයක් ඇති බැවින්, දුක් පීඩා විඳින්නන් සිහි කරන්න.</verse>
				<verse number="4">විවාහය සියල්ලන් අතර ගෞරවණීය ව ද විවාහ බැම්ම නොකැළැල් ව ද පවතී වා. මන්ද, අවකල්ක්‍රියා කරන්නන් ද කාමමිථ්‍යාචාරිකයන් ද දේව විනිශ්චයට ලක් වනු ඇත.</verse>
				<verse number="5">ලත් පමණින් සතුටු වන්න, වස්තු තණ්හාවෙන් තොර ව ඉන්න. මන්ද, “මම කිසි සේත් නුඹෙන් අහක් ව නොයමි; කිසි අයුරකින් නුඹ අත් නොහරිමි”යි දෙවියන් වහන්සේ ම වදාරා තිබේ.</verse>
				<verse number="6">මෙසේ: “සමිඳාණන් වහන්සේ මාගේ සරණය ය, මම බිය නොවන්නෙමි. මිනිසා මට කුමක් කරයි ද?” කියා ධෛර්ය සම්පන්න ව කීමට අපට පිළිවන.</verse>
				<verse number="7">දෙවියන් වහන්සේගේ වචනය ඔබ වෙත ගෙනා ඔබගේ නායකයන් සිහි කරන්න. ඔවුන්ගේ ජීවිත පැවැත්මේ ප්‍රතිඵල දෙස බලමින්, එම ඇදහිල්ල අනුගමනය කරන්න.</verse>
				<verse number="8">ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඊයෙත් අදත් සදහටමත් ඒකාකාර ම ය.</verse>
				<verse number="9">නා නා ප්‍රකාර අමුතු ඉගැන්වීම් සොයා ගොස් මුළා නොවන්න. ආහාර පිළිබඳ නීතිරීතිවලින් නොව, දේව වරප්‍රසාදයෙන් සිත් ශක්තිමත් කර ගැනීම යහපති. ඒ නීතිරීතිවලින් කිසිවෙකුට යහපතක් නො වී ය.</verse>
				<verse number="10">අපට පූජාසනයක් ඇත. පූජා මණ්ඩපයෙහි සේවය කරන්නන්ට එයින් වළඳන්ට අවසර නැත.</verse>
				<verse number="11">මන්ද, නායක පූජකයා විසින් පාප පූජාවක් සඳහා සතුන්ගේ ලේ ශුද්ධස්ථානයට ගෙන ගිය පසු, ඒ සතුන්ගේ මළසිරුරු කඳවුරෙන් පිටත දී පුළුස්සා දමනු ලැබේ.</verse>
				<verse number="12">එහෙත් ජේසුස් වහන්සේ ද තමන් රුධිරයෙන් සෙනඟ පවිත්‍ර කරන පිණිස වාසල් දොරින් පිටත දී වද වින්දේ ඒ නිසා ය.</verse>
				<verse number="13">ඒ නිසා උන් වහන්සේ දැරූ නින්දාව උසුලාගෙන අපිත් කඳවුරෙන් පිටත උන් වහන්සේ වෙත යමු.</verse>
				<verse number="14">සදාතන නුවරක් මිහි පිට අපට නැත. අප සොයන්නේ මතු පැමිණෙන්නට තිබෙන නුවර ය.</verse>
				<verse number="15">එබැවින් උන් වහන්සේ මඟින් දෙවියන් වහන්සේට අපේ පැසසුම් පූජාව නොකඩව පුද කරමු. ඒ පූජාව නම්, උන් වහන්සේගේ නාමයට අපේ මුවින් ම පැසසුම් දීමයි.</verse>
				<verse number="16">යහපත කිරීමට ද, ඔබ සතු දෙය අනුන් සමඟ බෙදාහදා ගැනීමට ද අමතක නොකරන්න. එවැනි පූජාවලට දෙවියන් වහන්සේ ප්‍රසන්න වන සේක.</verse>
				<verse number="17">ඔබේ නායකයන්ට කීකරු වී යටත් වන්න. මන්ද, ඔබ ගැන ඔවුන් ගණන් දිය යුතු බැවින්, ඔබගේ ආත්ම රැක බලාගැනීමට ඔව්හු නිරතුරු වෙහෙසෙති. එසේ කිරීම ඔවුන්ට බරක් නොව, ප්‍රීතියක් වීමට සලසන්න. එය බරක් වුවහොත්, ඔබට යහපතක් සිදු නොවේ.</verse>
				<verse number="18">අප ගැන යාච්ඤා කරන්න. මන්ද, සියල්ලේ දී යහපත කිරීමට ආශාවෙන් යුත් නිදොස් හෘදය සාක්ෂියක් අපට ඇති බව සහතික ය.</verse>
				<verse number="19">නොපමා ව මා ඔබ වෙත නැවත එන පිණිස, වඩාත් උනන්දු ලෙස යාච්ඤා කරන මෙන් ඉල්ලමි.</verse>
				<verse number="20">සදාතන ගිවිසුමේ ලේ කරණකොටගෙන බැටළුවන්ගේ මහා එඬේරාණන් වන, අප ජේසුස් සමිඳාණන් වහන්සේ මළවුන් කෙරෙන් උත්ථාන කළ සාමදානයේ දෙවියන් වහන්සේ,</verse>
				<verse number="21">ඔබ උන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන පිණිස, සියලු යහපත් ක්‍රියාවලින් ඔබ පරිපූර්ණ කරන සේක් වා! තමන්ට ප්‍රසන්න දේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන උන් වහන්සේ අප තුළ ඉටු කරන සේක් වා! උන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්.</verse>
				<verse number="22">සහෝදරවරුනි, මේ අවවාදාත්මක පණිවුඩය ඉවසිල්ලෙන් අසන මෙන් ඉල්ලමි. මා මෙය ලියා ඇත්තේ ලුහුඬින් ය.</verse>
				<verse number="23">අපේ සහෝදර තිමෝතියස් නිදහස් කරනු ලැබූ බව දන්වනු කැමැත්තෙමි. ඔහු පමා නොවී ආවොත්, මම ඔහු සමඟ ඔබ බලන්නට එන්නෙමි.</verse>
				<verse number="24">ඔබගේ සියලු නායකයන් ඇතුළු දෙවියන් වහන්සේගේ සියලු ජනතාවට මා වෙනුවෙන් ආචාර කරන්න. ඉතාලියේ හිතමිතුරෝ ඔබට සුබ පතති.</verse>
				<verse number="25">දේව කරුණාව ඔබ සියල්ලන් සමඟ වේ වා!</verse>
			</chapter>
		</book>
		<book number="59">
			<chapter number="1">
				<verse number="1">දෙවියන් වහන්සේගේත් ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේත් සේවකයෙකු වන ජාකොබ් නම් මම, ලොව පුරා විසිර සිටින ගෝත්‍ර දොළොසට සුබ පතමින් මෙය ලියා එවමි.</verse>
				<verse number="2">මාගේ සහෝදරයෙනි, ඔබගේ ඇදහිල්ල පරීක්ෂා කරනු ලැබීමෙන් ඉවසිල්ල ඇති වන බව සිතට ගෙන,</verse>
				<verse number="3">විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පාන කල එය වාසනාවකැ යි සලකන්න.</verse>
				<verse number="4">ඔබ කිසිවකින් ඌන ව නොසිට, සියලු අයුරින් පරිපූර්ණ ව සිටින පිණිස ඉවසීමේ ගුණය සම්පූර්ණ ලෙස ක්‍රියා කෙරේ වා.</verse>
				<verse number="5">ඔබගෙන් යමෙකුට ප්‍රඥාව නැත්නම්, ඔහු දෙවියන් වහන්සේගෙන් එය ඉල්ලා සිටී වා. එවිට සියල්ලන්ට නොමසුරුව, දොස් නොතබා දෙන දෙවියන් වහන්සේ එය ඔහුට ප්‍රදානය කරන සේක.</verse>
				<verse number="6">එහෙත් සැක නොකර ඇදහිල්ලෙන් ඔහු එය අයැදී වා. මන්ද, සැක කරන තැනැත්තේ සුළඟින් කැළඹී නඟින බසින මුහුදු රැල්ලට සමාන ය.</verse>
				<verse number="7">එබඳු මනුෂ්‍යයා තමාට සමිඳාණන් වහන්සේගෙන් කිසිවක් ලැබේ යයි නොසිතා වා.</verse>
				<verse number="8">ඔහු සිත් දෙගිඩියාවෙන් පසුවන මනුෂ්‍යයෙකු ව තමාගේ සියලු ක්‍රියා මාර්ගවල දී අස්ථීර ව සිටින්නේ ය.</verse>
				<verse number="9">පීඩිත තත්ත්වයක සිටින සහෝදරයා තමා උසස් කරනු ලැබීම ගැන ද,</verse>
				<verse number="10">ධනපතියා තමා පහත් කරනු ලැබීම ගැන ද උදන් අනා වා. මන්ද, ධනවතා තණ මලක් මෙන් පහ ව යන්නේ ය.</verse>
				<verse number="11">දැවෙන හිරු කිරණින් තණ කොළ වියළී යයි; ඒවායේ මල් පෙති වැටී යයි. එහි සෞන්දර්යය පහ වී යයි. එලෙස ම ධනවතා සිය උපාය මාර්ගවල දී මැල වී යයි.</verse>
				<verse number="12">කම්කටොලු ඉවසන මනුෂ්‍යයා භාග්‍යවන්තයෙකි. මන්ද, ඔහු පරීක්ෂාවෙන් ජය ලැබූ කල, දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නවුන්ට උන් වහන්සේ පොරොන්දු වූ, ජීවන කිරීටය ලබන්නේ ය.</verse>
				<verse number="13">පරීක්ෂා කරනු ලබන කල, “මා පොළඹවන්නේ දෙවියන් වහන්සේ ය”යි කිසිවෙක් නොකියා වා. දෙවියන් වහන්සේ නපුරෙන් පෙළඹෙන්නේ නැත. කිසිවෙකු පොළඹවන්නෙත් නැත.</verse>
				<verse number="14">ඒ ඒ මිනිසාට පරීක්ෂාව පැමිණෙන්නේ තම තමාගේ ම තෘෂ්ණාවෙන් මුළා වී පෙළඹෙන විට ය.</verse>
				<verse number="15">මෙසේ තෘෂ්ණාව පිළිසිඳ, පාපය බිහි කරයි. පාපය ද මුහුකුරා ගොස් මරණය සිදු කරයි.</verse>
				<verse number="16">මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නොරැවටෙන්න.</verse>
				<verse number="17">සෑම යහපත් දීමනා ද සියලු අගනා ත්‍යාග ද නොවෙනස් වන සුලු, පහ ව යන බවට ඡායා මාත්‍රයකුදු නැති ආලෝකයේ පියාණන් වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේ ය.</verse>
				<verse number="18">උන් වහන්සේ මැවූ සත්ත්වයන් අතර අප මුදුන් මල්කඩ වීමේ පෙර ලකුණු වශයෙන්, සිය අරමුණ අනුව උන් වහන්සේ සත්‍ය වචනයෙන් අප ජනිත කළ සේක.</verse>
				<verse number="19">මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, මෙය තේරුම්ගන්න. ඔබ එකිනෙකා සවන් දීමට ඉක්මන් වන්න, කතා කිරීමටත් කෝප වීමටත් පමා වන්න.</verse>
				<verse number="20">මන්ද, මනුෂ්‍යයාගේ කෝපයෙන් දෙවියන් වහන්සේගේ යුක්තිය ඉටු වන්නේ නැත.</verse>
				<verse number="21">එහෙයින් සියලු අධම දෙය ද දමනය කළ නොහැකි දුෂ්ටකම ද ඉවත ලා ඔබට ගැළවීම සාදා දිය හැකි, ඔබ සිත් සතන්හි මුල් බැසගත් දහම් පණිවුඩය යටහත් ලෙස පිළිගන්න.</verse>
				<verse number="22">එහෙත්, තමන් ම රවටා නොගෙන දහම් පණිවුඩය අසන්නන් පමණක් නොවී, එය පිළිපදින්නෝ වන්න.</verse>
				<verse number="23">මන්ද යමෙක් දහම් පණිවුඩය අසන නමුත් එය නොපිළිපදින්නේ නම්, ඔහු කැඩපතකින් තමාගේ මුහුණ ඇති සැටියෙන් බලන මනුෂ්‍යයෙකුට සමාන ය.</verse>
				<verse number="24">ඔහු තම රූපය දෙස බලා අහක් ව ගිය පසු, තමා කෙබඳු මනුෂ්‍යයෙක් දැ යි වහා ම අමතක කරයි.</verse>
				<verse number="25">එහෙත් නිදහස ගෙනදෙන සර්ව සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස මැනැවින් බලා, එය අසා අමතක කරන්නෙකු නොවී එය ක්‍රියාවෙහි යොදමින් ඒ අනුව ජීවත් වන තැනැත්තේ එසේ කිරීමෙන් ආසිරි ලබන්නේ ය.</verse>
				<verse number="26">යමෙක් තමාගේ දිව දමනය නොකර, තම සිත රවටාගැනීමෙන්, තමා භක්තිවන්තයෙකැ යි සිතන්නේ නම්, ඔහුගේ ආගමෙන් වැඩක් නැත.</verse>
				<verse number="27">අපගේ පියාණන් වන දෙවියන් වහන්සේ ඉදිරියෙහි පිරිසිදු නිර්මල භක්තිය නම්, මව්පියන් නැති දරුවන්ට ද වැන්දඹුවන්ට ද ඔවුන්ගේ විපත්තිවල දී පිහිට වීමත්, ලෝකයෙන් තමා ම කිළුටු නොවී ආරක්ෂා වීමත් ය.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">මාගේ සහෝදරයෙනි, ඔබ තේජශ්‍රීයෙන් වැජඹෙන, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අදහන නිසා, මිනිසුන්ගේ තරාතිරම් බැලීමෙන් වැළකෙන්න.</verse>
				<verse number="2">රන් මුදු පැළඳ, ඉස්තරම් වස්ත්‍ර ඇඳගත් කෙනෙක් ද වැරහැලි ඇඳගත් දිළින්දෙක් ද ඔබගේ ධර්මශාලාවට පැමිණියෝ යයි සිතමු.</verse>
				<verse number="3">ඔබ ඉස්තරම් වස්ත්‍ර ඇඳගත් අයට විශේෂ සැලකිලි දක්වා, “කරුණාකර මෙහි, අසුන් ගන්න” කියා ද, දිළින්දාට, “උඹ ඔතන හිටපන්”, නැත්නම් “මාගේ පාපුටුව ළඟ බිම හිඳගන්නැ”යි කියා ද කීවොත්,</verse>
				<verse number="4">ඔබ අතරෙ ම පක්ෂවාදිකම් ඇති කරන නපුරු සිතුවිලි සහිත විනිශ්චයකරුවන් නොවන්නේ ද?</verse>
				<verse number="5">මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, සවන් දෙන්න, ඇදහිල්ලෙහි ධනවතුන් වන පිණිසත්, දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන් හට පොරොන්දු වූ රාජ්‍යයේ උරුමක්කාරයන් වන පිණිසත්, උන් වහන්සේ ලෝකයේ දිළිඳුන් තෝරා ගත්තේ කුමක්නිසා ද?</verse>
				<verse number="6">එහෙත් ඔබ දිළිඳුන්ට අවමන් කළහු ය. ඔබට පීඩා කරන්නෝ ධනවත්තු නොවෙත් ද? නඩු ශාලාවලට ඔබ ඇදගෙන යන්නෝත්,</verse>
				<verse number="7">ඔබ දරන උතුම් නාමයට අපහාස කරන්නෝත් ඔව්හු නොවෙත් ද?</verse>
				<verse number="8">එසේ වුව ද, ශුද්ධ ලියවිල්ලේ සඳහන් පරිදි: “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” යන රාජ නීතිය පවත් වන්නහු නම්, ඔබ කරන දෙය කදිම යි.</verse>
				<verse number="9">එහෙත් මිනිසුන්ගේ තරාතිරම් සලකන්නහු නම්, ඔබ වරදකාරයන් බව ව්‍යවස්ථාව අනුව ඔප්පු වන බැවින් ඔබ කරන දෙය පාපයකි.</verse>
				<verse number="10">මන්ද, යමෙකු මුළු ව්‍යවස්ථාව පිළිපැද්දත්, ඉන් එක අණක්වත් කඩ කළොත්, ඔහු සියල්ල ගැන වරදකාරයෙක් වෙයි.</verse>
				<verse number="11">“කාමමිථ්‍යාචාරය නොකරව”යි වදාළ තැනැන් වහන්සේ ම, “මිනී නොමරන්න” කියාත් කී සේක. ඉදින් ඔබ කාමමිථ්‍යාචාරය නොකළත්, මිනී මරන්නෙහි නම්, ව්‍යවස්ථාව කඩ කරන්නෙක් වන්නෙහි ය.</verse>
				<verse number="12">නිදහස සලසන ව්‍යවස්ථාවකින් විනිශ්චය ලැබීමට සිටින අය මෙන් කතා කරන්න. ක්‍රියා කරන්න.</verse>
				<verse number="13">දයාව නොපෙන්වූ තැනැත්තාට දයා විරහිත විනිශ්චයක් පැමිණෙන්නේ ය. දයාව, විනිශ්චය පසුබා ජය ගනී.</verse>
				<verse number="14">මාගේ සහෝදරයෙනි, තමාට ඇදහිල්ල ඇතැ යි යමෙකු කීවත් ක්‍රියාවලින් එය ප්‍රකාශ නොවේ නම්, ඉන් වැඩක් ඇද් ද? එවැනි ඇදහිල්ලක් ඔහුට ගැළවීම ගෙන දෙයි ද?</verse>
				<verse number="15">යම් සහෝදරයකු හෝ සහෝදරියක හෝ ඇඳුම් නැති ව, දිනපතා කෑම නැති ව සිටිය දී,</verse>
				<verse number="16">ඔබගෙන් යමෙක් ඔවුන්ගේ ශාරීරික අවශ්‍යතා සපයා නොදී: “ඔබට දෙවි පිහිට යි, උණුසුමට ඇඳ පැළඳ, කා බී සතුටු වන්නැ”යි ඔවුන්ට කියන්නේ නම්, එයින් මොන යහපතක් ද?</verse>
				<verse number="17">ඇදහිල්ල ගැන කිය යුත්තේත් එය ම යි. ක්‍රියා විරහිත ඇදහිල්ල මළ ඇදහිල්ලකි.</verse>
				<verse number="18">“ඔබට ඇත්තේ ඇදහිල්ල ය, මට ඇත්තේ යහපත් ක්‍රියා ය. හොඳයි, ඔබ ක්‍රියා නැති ව ඔබේ ඇදහිල්ල පෙන්වන්න. මම මාගේ ක්‍රියාවලින් මාගේ ඇදහිල්ල පෙන්වමි”යි කියන්නට යමෙකුට පුළුවන්කම තිබෙනවා විය හැකි ය.</verse>
				<verse number="19">ඇත්තේ එක ම දෙවි කෙනෙකු බව ඔබ අදහන්නෙහි ය; එය කදිම යි. දුෂ්ටාත්මයෝත් එසේ අදහා බියෙන් වෙවුලති.</verse>
				<verse number="20">අඥානය, ක්‍රියාවලින් තොර ඇදහිල්ල නිෂ්ඵල බව ඔබ නොදන්නෙහි ද?</verse>
				<verse number="21">අපේ පිය වූ ආබ්‍රහම් සිය පුත් ඊසාක් පූජාසනය පිට ඔප්පු කළ විට, ඔහු දමිටුකමට පමුණුවනු ලැබුවේ ඔහුගේ යහපත් ක්‍රියා නිසා නොවේ ද?</verse>
				<verse number="22">ඇදහිල්ල, ඔහුගේ යහපත් ක්‍රියා හා සමඟ එක් ව ක්‍රියා කළ බවත්, ඇදහිල්ල ක්‍රියා නිසා සම්පූර්ණ වූ බවත් ඔබට පෙනෙනු ඇත.</verse>
				<verse number="23">මෙසේ: “ආබ්‍රහම් දෙවියන් වහන්සේ අදහාගත්තේ ය. ඒ ඇදහිල්ල ඔහුගේ දමිටුකම හැටියට පිළිගනු ලැබී ය”යි කියන ශුද්ධ ලියවිල්ල ඉටු විය. එපමණකුත් නොව, ඔහු දෙවියන් වහන්සේගේ මිත්‍රයා යයි කියනු ලැබී ය.</verse>
				<verse number="24">මනුෂ්‍යයෙකු දමිටුකමට පමුණුවනු ලබන්නේ ක්‍රියාවලින් බවත්, ඇදහිල්ලෙන් පමණක් නොවන බවත්, ඔබට පෙනෙනු ඇත.</verse>
				<verse number="25">රාහාබ් වෙසඟනක වුව ද, දූතයන් පිළිගෙන අන් මඟකින් යාමට ඔවුන්ට පිහිට වූ බැවින්, ඈ දමිටුකමට පමුණුවනු ලැබුවේ ඒ ක්‍රියාවලින් නොවේ ද?</verse>
				<verse number="26">හුස්ම නැති සිරුර මළසිරුරක් වන සේ ම ක්‍රියා නැති ඇදහිල්ල මළ ඇදහිල්ලකි.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">මාගේ සහෝදරයෙනි, ඔබගෙන් බොහෝ දෙනෙක් ගුරුවරුන් වීමට නොසිතන්න. ඔබ දන්නා පරිදි ගුරුවරුන් වන අපි වඩාත් බරපතල මිම්මකින් විනිශ්චය කරනු ලබමු.</verse>
				<verse number="2">අපි සියල්ලෝ ම බොහෝ විට වරදට වැටෙමු. යමෙක් වචනයෙන් වරදක් නොකරන්නේ නම්, ඔහු මුළු ශරීරය දමනය කරගන්නට සමත්, සර්ව සම්පූර්ණ මනුෂ්‍යයෙකි.</verse>
				<verse number="3">අශ්වයන් කීකරු කරගන්නා පිණිස උන්ට කටකලියා දැමූ විට අපි උන්ගේ මුළු ශරීරය ම දමනය කරගනිමු.</verse>
				<verse number="4">නැව් ගැන සිතන්න, නැවක් කෙතරම් විශාල වුව ද, සැඬ සුළඟට ගසාගෙන යන විට, ඉතා කුඩා සුක්කානමකින් නැව්පතියා එය තමා රිසි සේ හරවාගෙන යයි.</verse>
				<verse number="5">එලෙස ම දිව කුඩා අවයවයක් වුව ද එය ලොකුවට පුරසාරම් දොඩයි. කුඩා ගිනි පුපුරකින් කොපමණ මහත් ළැව් ගින්නක් හටගනී ද?</verse>
				<verse number="6">දිව ද ගින්නකි. එය අපේ ඉඳුරන් අතර, අදමිටුකමින් පිරුණු ලෝකයකි. එය මුළු ශරීරය දූෂණය කොට, නිරා ගින්නෙන් සකල ලෝකයට ගිනි දල්වයි.</verse>
				<verse number="7">සියලු ආකාර වන මෘගයන් ද කුරුල්ලන් ද උරග ජාතීන් ද මුහුදු සතුන් ද පෙර මෙන් දැනුත්, මිනිසාට දමනය කළ හැකි ය.</verse>
				<verse number="8">එහෙත් දිව දමනය කිරීම කිසිවෙකුට නුපුළුවන. එය හික්මවිය නොහැකි විෂඝෝර නපුරු ඉන්ද්‍රියයකි.</verse>
				<verse number="9">එයින් අපි ස්වාමීන් වන පියාණන් වහන්සේ පසසමු; එයින් ම දිව්‍ය සමානත්වයෙන් මවන ලද මනුෂ්‍යයන්ට සාප කරමු.</verse>
				<verse number="10">ප්‍රශංසාවත් සාපයත් එක ම මුඛයෙන් නික්මෙයි. මාගේ සහෝදරයෙනි, මෙසේ වීම හරි නැත.</verse>
				<verse number="11">දිය උල්පතේ එක සිදුරෙන් මිරිදියත් කරදියත් නික්ම එයි ද?</verse>
				<verse number="12">මාගේ සහෝදරයෙනි, දිවුල් ගසේ රට වෙරළු වත්, මිදි වැලේ දිවුල් වත් හටගනී ද? කරදිය උල්පතෙන් මිරිදිය නික්මෙන්නේ නැත.</verse>
				<verse number="13">ඔබ අතර පැණවත් නැණවත් යමෙක් සිටී ද? එසේ නම් ඔහු තමාගේ සදාචාරයෙන් ද ප්‍රඥාවෙන් ඇති වන විනීත ක්‍රියාවලින් ද එය ප්‍රකාශ කෙරේ වා.</verse>
				<verse number="14">එහෙත් ඔබගේ සිත්වල දැඩි ඊර්ෂ්‍යාව ද, උන්නතිකාමය ද, ඇත්නම් පුරසාරම් දොඩමින් සත්‍යයට විරුද්ධ ව ක්‍රියා නොකරන්න.</verse>
				<verse number="15">එවැනි ප්‍රඥාව ඉහළින් පැමිණෙන්නක් නොවේ. එය ලෞකික ය, කාමුක ය, අමානුෂික ය.</verse>
				<verse number="16">මන්ද, ඊර්ෂ්‍යාවත් උන්නතිකාමයත් කොතැන ද එතැන අවුල්වියවුල් ද සියලු නපුරු ක්‍රියා ද ඇත්තේ ය.</verse>
				<verse number="17">එහෙත් ලෝකෝත්තර ප්‍රඥාව පළමුකොට නිර්මල ය, ඊළඟට සාමකාමී ය, සානුකම්පිත ය, යුක්ති සහගත ය; එය දයාවෙන් හා යහපත් ඵලවලින් පූර්ණ ව, පක්ෂවාදිකමින් ද කුහකකමින් ද තොර ව පවතී.</verse>
				<verse number="18">සැබෑ දමිටුකම වූකලී සාම දූතයන් සාමයෙන් වපුළ බීජවලින් නිපදවන අස්වැන්නකි.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">ඔබ අතර ආරාවුල් හා කලකෝලාහල ඇති වෙන්නේ කෙසේ ද? ඒවා හටගන්නේ ඔබගේ ඉඳුරන් තුළ සටන් කරන තෘෂ්ණාවලින් නොවේ ද?</verse>
				<verse number="2">ඔබ යමකට ආසා වන්නහු ය; එහෙත් එය ඔබට ලැබෙන්නේ නැත; ඒ නිසා ඔබ මිනී මරන්නහු ය. ඔබ ඊර්ෂ්‍යා කරන්නහු ය; ඔබට තෘප්තියක් නැත. ඔබ දබර කරන්නහු ය; සටන් කරන්නහු ය. නො ඉල්ලන නිසා ඔබට ලැබෙන්නේ නැත.</verse>
				<verse number="3">ඔබ ඉල්ලුවත්, වැරදි ලෙස ද ආත්මාර්ථකාමි තෘප්තිය සඳහා ද ඉල්ලන බැවින් එය නොලැබෙන්නේ ය.</verse>
				<verse number="4">අවිශ්වාසී ජනයෙනි, ලෝකය සමඟ මිතුරුකම, දෙවිඳුන් සමඟ සතුරුකම බව ඔබ දන්නේ නැද් ද? එබැවින් කවරෙක් වුවත් ලෝකය හා මිත්‍ර වන්නට කැමැත්තේ නම්, ඔහු දෙවිඳුන්ට සතුරෙක් වන්නේ ය.</verse>
				<verse number="5">“දෙවියන් වහන්සේ අප තුළ පිහිටුවා වදාළ ආත්මය උන් වහන්සේ දැඩි ආශාවකින් රකින සේකැ”යි ශුද්ධ ලියවිල්ලේ ඇති කීම නිෂ්ඵල කතාවකැ යි ඔබ සිතන්නහු ද?</verse>
				<verse number="6">එහෙත් උන් වහන්සේගෙන් එන වරප්‍රසාදය එයටත් වඩා බලවත් ය. එබැවින්: “දෙවියන් වහන්සේ උඩඟු වූවන්ට විරුද්ධ වී, යටහත් පහත් අයට කරුණාව දෙන සේකැ”යි ශුද්ධ ලියවිල්ල පවසයි.</verse>
				<verse number="7">ඒ නිසා දෙවියන් වහන්සේට යටහත් ව සිටින්න; යක්ෂයාට විරුද්ධ ව සිටින්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යනු ඇත.</verse>
				<verse number="8">දෙවියන් වහන්සේට ළං වන්න, එවිට දෙවියන් වහන්සේ ඔබට ළං වන සේක. පව්කාරයෙනි, ඔබගේ අත් පවිත්‍ර කරගන්න; දෙසිත් ඇත්තෙනි, ඔබගේ සිත් පිරිසිදු කරගන්න.</verse>
				<verse number="9">දුක් වන්න, ශෝක වන්න, හඬා වැලපෙන්න, ඔබගේ සිනහව හැඬීමටත්, ඔබගේ ප්‍රීතිය දුකටත් හැරේ වා.</verse>
				<verse number="10">සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යටහත් පහත් වන්න. එවිට උන් වහන්සේ ඔබ උසස් කරන සේක.</verse>
				<verse number="11">සහෝදරයෙනි, එකිනෙකාට විරුද්ධ ව ඕපාදූප නොදොඩන්න. සහෝදරයෙකුට විරුද්ධ ව ඕපාදූප කියන්නා, නැතහොත් තමාගේ සහෝදරයා විනිශ්චය කරන්නා ව්‍යවස්ථාවට අපහාස කරන්නේ ය; ව්‍යවස්ථාව විනිශ්චය කරන්නේ ය. ඉදින් ඔබ ව්‍යවස්ථාව විනිශ්චය කරන්නෙහි නම්, ඔබ ව්‍යවස්ථාව පිළිපදින්නෙක් නොව එය විනිශ්චය කරන්නෙකි.</verse>
				<verse number="12">ඇත්තේ එක ම නීති දායකයෙකි; එක ම විනිශ්චයකාරයෙකි. ගළවන්නට ද විනාශ කරන්නට ද පුළුවන්කම ඇත්තේ උන් වහන්සේට පමණකි. එසේ නම් ඔබේ අසල්වැසියා විනිශ්චය කිරීමට ඔබ කවරෙක් ද?</verse>
				<verse number="13">“අද හෝ හෙට හෝ අපි අසවල් නගරයට ගොස් එහි අවුරුද්දක් නැවතී වෙළහෙළඳාම් කොට ලාභ උපයාගන්නෙමු”යි කියන තැනැත්තෙනි, සවන් දෙන්න.</verse>
				<verse number="14">හෙට කුමක් වේ දැ යි ඔබ නොදන්නහු ය. ඔබගේ ජීවිතය කුමක් ද? ඔබ මඳ වේලාවක් පෙනී, පසු ව නොපෙනී යන මීදුමක් වැන්න.</verse>
				<verse number="15">එබැවින් ඔබ කිය යුත්තේ: “සමිඳාණන් වහන්සේ කැමැති සේක් නම්, අපි ජීවත් වී ඒ දෙය හෝ මේ දෙය හෝ කරන්නෙමු”යි කියා ය.</verse>
				<verse number="16">එහෙත් දැන් ඔබ පුරසාරම් දොඩමින් අහංකාරයෙන් පාරට්ටු කරගන්නහු ය. එවැනි සියලු පුරසාරම් දෙඩීම් නපුරු ය.</verse>
				<verse number="17">එබැවින් යමෙක් කළ යුතු යහපත දැන දැනත් එය නොකරන්නේ නම්, ඔහු පව්කාරයෙකි.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">දැන් ඉතින් ධනවතුනි, ඔබ පිට පැමිණෙන්නට තිබෙන අවාසනාවන්ත ඉරණම ගැන හඬා වැලපෙන්න.</verse>
				<verse number="2">ඔබගේ ධනධාන්‍ය දිරාගොස් ඇත, ඔබගේ වස්ත්‍ර කාවුන් කාදමා ඇත.</verse>
				<verse number="3">ඔබේ රන් රිදී මලකඩ කා ඇත; ඒ මලකඩ ඔබට විරුද්ධ ව සාක්ෂියක් වී, ගින්නක් මෙන් ඔබගේ මාංස කාදමනු ඇත. ඔබ වස්තු ගොඩගසා ඇත්තේ නිම වේගෙන යන යුගයක ය.</verse>
				<verse number="4">බලන්න, ඔබගේ කෙත් වතුවල අස්වැන්න නෙළූ ගොවීන්ට නොගෙවා ඔබ වංචා කරගත් ඔවුන්ගේ කුලිය ඔබට විරුද්ධ ව මොරගසයි. ගොවීන්ගේ මොරගැසීම සේනාවල සමිඳාණන් වහන්සේගේ කන්වල වැටෙන්නේ ය.</verse>
				<verse number="5">ඔබ මෙලොව කම් සැප විහරණයෙහි ඇලී ගැලී, මරන්නට තර කරන සතුන් මෙන් පුෂ්ටිමත් වෙමින් කල් යැවූවහු ය. ඒ දිනය දැන් පැමිණ ඇත.</verse>
				<verse number="6">විරෝධයක් නොපෑ නිදොස් මිනිසාට වුව ද ඔබ වරද එල්ල කොට ඔහු මරාදැමුවහු ය.</verse>
				<verse number="7">එබැවින් සහෝදරයෙනි, සමිඳාණන් වහන්සේගේ ආගමනය දක්වා ඉවසිල්ලෙන් සිටින්න. පළමු සහ අන්තිම වර්ෂාව වහින තුරු ගොවියා පොළොවේ සරුසාර පලදාව ගැන බලා ඉවසිල්ලෙන් සිටියි.</verse>
				<verse number="8">එසේ ම ඔබ ද ඉවසිල්ලෙන් සිටින්න; සමිඳාණන් වහන්සේගේ ආගමනය දැන් ළං ව ඇති බැවින් ඔබේ සිත් තිරසර ව තබාගන්න.</verse>
				<verse number="9">සහෝදරයෙනි, ඔබ විනිශ්චයට ලක් නොවන පිණිස එකිනෙකාට විරුද්ධ ව චෝදනා නොකරන්න. මෙන්න, විනිශ්චයකාරයාණෝ දොරකඩ සිටින සේක.</verse>
				<verse number="10">සහෝදරයෙනි, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් කතා කළ දිවැසිවරයන්ගේ පීඩා විඳීම ද ඉවසීම ද ආදර්ශයට ගන්න.</verse>
				<verse number="11">ස්ථිර ව සිටි අය ආශීර්වාද ලද්දෝ යයි අපි කියමු. ජෝබ් ස්ථීර ව සිටි හැටි ඔබ අසා ඇත. ඔහු ගැන සමිඳාණන් වහන්සේගේ තීරණය ද ඔබට පැහැදිලි ය, සමිඳාණන් වහන්සේ දයානුකම්පාවෙන් අධික ලෙස පොහොසත් වී සිටින සේක.</verse>
				<verse number="12">මේ සියල්ලට වඩා, මාගේ සහෝදරයෙනි, අහස ගැනවත්, පොළොව ගැනවත්, අන් කිසිවක් ගැනවත් නොදිවුරන්න, ඔබ වරදට පත් නොවන පිණිස ඔබගේ වචනය “එසේ” නම් “එසේ ය” කියා ද, “නැත” නම් “නැත” කියා ද වේ වා.</verse>
				<verse number="13">ඔබ අතරෙන් යමෙක් දුක් විඳින්නේ නම් ඔහු යාච්ඤා කෙරේ වා. යමෙක් ප්‍රීතියෙන් සිටින්නේ නම් ඔහු තුති ගී ගයා වා.</verse>
				<verse number="14">ඔබ අතරෙන් යමෙක් රෝගී ව සිටින්නේ නම්, ඔහු සභා මූලිකයන් කැඳවාගනී වා. ඒ මූලිකයෝ සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔහු තෙලින් ආලේප කොට, ඔහු උදෙසා යාච්ඤා කරත් වා.</verse>
				<verse number="15">එවිට ඇදහිල්ලෙන් පුදන යාච්ඤාවෙන් රෝගියාට සුවය ලැබේ. සමිඳාණන් වහන්සේ ඔහු නැඟිටුවනු ඇත. ඔහු පව් කර තිබේ නම්, ඒ පව් ඔහුට කමා කරනු ලැබේ.</verse>
				<verse number="16">එබැවින් ඔබ එකිනෙකාට පාපෝච්චාරණය කර, සුවය ලබන පිණිස, එකිනෙකා උදෙසා යාච්ඤා කරන්න. දැහැමි මිනිසෙකු යදින යැදුම බලවත් ය; පලදායක ය;</verse>
				<verse number="17">දිවැසිවර එලියා අප හා සමාන ගති ඇති මනුෂ්‍යයෙකු වුව ද, වැසි නොවසින පිණිස ඔහු උනන්දුවෙන් යාච්ඤා කෙළේ ය. එවිට තුන් අවුරුදු සමසක් රටට වැසි නොවැස්සේ ය.</verse>
				<verse number="18">ඉන්පසු ඔහු නැවත යාච්ඤා කෙළේ ය. එවිට අහසින් වැසි වැස, පොළොවේ පලදාව ඇති විය.</verse>
				<verse number="19">මාගේ සහෝදරයෙනි, ඔබ අතරෙන් යමෙකු සත්‍යයෙන් මුළා ව ගියොත්, වෙන තැනැත්තෙකු ඔහු සත්‍යයට හරවා ගත්තොත් ඉතා මැනවි.</verse>
				<verse number="20">නොමඟ ගිය පව්කරුවෙකු යළි සත්‍යයට හරවන තැනැත්තේ ප්‍රාණයක් මරණයෙන් මුදා, පව් රාශියක් මකා හරින බව දැනගනී වා.</verse>
			</chapter>
		</book>
		<book number="60">
			<chapter number="1">
				<verse number="1">මේ හසුන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වන පේදුරුගෙනි. මෙය ලියා එවන්නේ පොන්තස්හි ද ගලාතියෙහි ද කපදෝසියාවෙහි ද ආසියාවෙහි හා බිතිනියාවෙහි ද විසිර ගොස් විදේශිකයන්ව වසන,</verse>
				<verse number="2">දෙවි පියාණන් වහන්සේගේ පෙර දැනුම අනුව තෝරාගනු ලැබූ, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට කීකරු වීමට හා උන් වහන්සේගේ ලේ ඉසිනු ලැබීමට, ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් පවිත්‍ර කරනු ලැබූ අයට ය. කරුණාවත් ශාන්තියත් ඔබට අධික ලෙස වේ වා!</verse>
				<verse number="3">අපගේ ස්වාමීන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන් වන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා! ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මරණින් උත්ථාන කිරීම හේතුකොටගෙන, දෙවියන් වහන්සේ ස්වකීය මහත් දයාවෙන්,</verse>
				<verse number="4">අපට නව ජීවනයක් දී, අපට ජීවමාන බලාපොරොත්තුවක් උදා කළ සේක. ඒ බලාපොරොත්තුව වනාහි සදහට ම පවත්නා උරුමයකට අප හිමිකාරයන් වීම ය. අජරාමර වූ ද, නොමැලවෙන්නා වූ ද ඒ උරුමය ස්වර්ගයෙහි ඔබ උදෙසා තබා ඇත.</verse>
				<verse number="5">දෙවියන් වහන්සේගේ විමුක්තිදායක අරමුණ එළිදරව් කරන්නට යන අන්තිම කාලය දක්වා, ඔබගේ ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගේ බලය කරණකොටගෙන ඔබ ආරක්ෂා කරනු ලබන්නහු ය.</verse>
				<verse number="6">ඔබ තව ස්වල්ප කලකට විවිධාකාර පරීක්ෂාවලින් පීඩා කරනු ලැබිය යුතු වුව ද, ඒ විමුක්තිය ගැන ඔබ ඉතා ප්‍රීතිවන්නහු ය.</verse>
				<verse number="7">එසේ පීඩා කරනු ලබන්නේ, ඔබේ ඇදහිල්ල සෝදිසි කිරීමට ය. ගින්නෙන් පරීක්ෂා කරනු ලබන, විනාශ වන රනටත් වඩා අනර්ඝ ඔබේ ඇදහිල්ල, එසේ සෝදිසි කිරීමෙන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ එළිදරව් වීමේ දී ප්‍රශංසාව ද, මහිමය ද, ගෞරවය ද ඔබට ලැබෙනු ඇත.</verse>
				<verse number="8">ඔබ උන් වහන්සේ නුදුටු නමුත් උන් වහන්සේට ප්‍රේම කරන්නහු ය. දැන් ඔබ උන් වහන්සේ නොදකින නමුත්, උන් වහන්සේ අදහා,</verse>
				<verse number="9">ඔබගේ ඇදහිල්ලේ අරමුණ වන ඔබගේ ආත්ම ගැළවීම ලබමින්, කියා නිම කළ නොහැකි, තේජාන්විත මහා ප්‍රීතියකින් ප්‍රීතිවන්නහු ය.</verse>
				<verse number="10">ඔබට ලැබෙන්ට නියමිත වරප්‍රසාදය ගැන දිවැස් වැකි පැවසූ දිවැසිවරු ඒ ගැළවීම ගැන බොහෝසෙයින් විපරම් කර සොයා බැලූ හ.</verse>
				<verse number="11">ඔවුන් තුළ වූ ක්‍රිස්තුන් වහන්සේගේ ආත්මයාණන්, ක්‍රිස්තුන් වහන්සේට නියම වූ වද විඳීම ද ඉන්පසු පැමිණෙන තේජස ද ගැන කල් තියා පැවසූ විට, ඉන් හඟවනු ලැබුවේ කවර කාලයක් ද කවර ආකාරයක් දැ යි ඔව්හු සොයා බැලූ හ.</verse>
				<verse number="12">තවද, ඔවුන් ඒ සේවය කළේ තමන් උදෙසා ම නොව, ඔබ උදෙසා බව ඔවුන්ට එළිදරව් කරන ලද්දේ ය. මේ දේවල් ස්වර්ගයෙන් එවන ලද ශුද්ධාත්මයාණන් කරණකොටගෙන, ඔබට සුබ අස්න දේශනා කළ තැනැත්තන් ලවා දැන් ඔබට ප්‍රකාශ කරවන ලදී. දේව දූතයෝ පවා මේවා බලා දැනගන්නට ආශා වෙති.</verse>
				<verse number="13">එහෙයින්, ක්‍රියා කිරීමට ඔබගේ සිත් යොමු කර අවදි ව සිටින්න. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රකාශ වීමේ දී ඔබ වෙත පැමිණෙන්නට තිබෙන වරප්‍රසාදය පිට ඔබගේ බලාපොරොත්තුව සම්පූර්ණ ලෙස පිහිටුවන්න.</verse>
				<verse number="14">ඔබ නොදැන සිටි කාලයේ දී තිබුණු තෘෂ්ණාවලට වහල් නොවී කීකරු දරුවන් මෙන් හැසිරෙන්න.</verse>
				<verse number="15">ඔබ කැඳෙව් තැනැන් වහන්සේ ශුද්ධ ව සිටින්නාක් මෙන් ඔබ ද, ඔබගේ මුළු හැසිරීමේ දී ශුද්ධ ව සිටින්න, මන්ද,</verse>
				<verse number="16">“මා ශුද්ධ ව සිටින හෙයින් ඔබත් ශුද්ධ ව සිටිය යුතු ය”යි ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ව ඇත.</verse>
				<verse number="17">තවද, මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලා, එකිනෙකාගේ ක්‍රියා අනුව විනිශ්චය කරන තැනැන් වහන්සේට ‘පියාණෝ ය’ කියා ඔබ යාච්ඤා කරන්නහු නම්, මිහි පිට ඔබ විදේශී ව සිටින කාලය දේව ගරුබියෙන් ගත කරන්න.</verse>
				<verse number="18">ඔබගේ පියවරුන්ගෙන් ලැබූ නිෂ්ඵල ජීවිත මාර්ගයෙන් ඔබ මුදනු ලැබුවේ රන් රිදී වැනි දිරා යන දේවල් මඟින් නොව,</verse>
				<verse number="19">කැළලක් වත් පලුද්දක් වත් නැති බැටළු පැටවකුගේ ලේ වැනි ක්‍රිස්තුන් වහන්සේගේ අගනා ලෙය කරණකොටගෙන බව ඔබ දන්නහු ය.</verse>
				<verse number="20">මේ මිදීම සඳහා ක්‍රිස්තුන් වහන්සේ, ලෝකය මැවීමට පෙර තෝරාගනු ලැබ, ඔබ උදෙසා මේ අන්තිම කාලයේ දී ප්‍රකාශ කරනු ලැබූ සේක.</verse>
				<verse number="21">ඔබ මෙම ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන, උන් වහන්සේ මරණයෙන් උත්ථාන කොට මහිමයට පත් කළ දෙවියන් වහන්සේ අදහන්නහු ය. මෙලෙස දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ද බලාපොරොත්තුව ද ඔබට ඇත.</verse>
				<verse number="22">ඔබ සත්‍යයට කීකරු වීමෙන්, සහෝදරයන්ට අවංක ලෙස ප්‍රේම කරන තරමට ඔබගේ සිත් පිරිසිදු කරගත් බැවින්, ඔබගේ හද පත්ලෙන් නඟින ප්‍රේමයකින් එකිනෙකාට ප්‍රේම කරන්න.</verse>
				<verse number="23">ඔබ නැවත උත්පාද කරනු ලැබුවේ දිරා යන බීජයකින් නොව, දෙවියන් වහන්සේගේ ජීවමාන, සදාතන වචනය නමැති දිරා නොයන බීජයෙන් ය.</verse>
				<verse number="24">මන්ද “සියලු මනුෂ්‍ය වර්ගයා තණ පත් මෙනි, ඔවුන්ගේ සකල තේජස තණ මල මෙනි; තණ කොළ වියළෙයි, මල වැටී යයි,</verse>
				<verse number="25">එහෙත් ස්වාමීන්ගේ වචනය සදහට ම පවතියි.” මේ වචනය නම් ඔබට දේශනා කරන ලද සුබ අස්න ය.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">එබැවින් සියලු ආකාර ක්‍රෝධ ද සියලු ආකාර රැවටිලි ද වංකකම් ද, ඊර්ෂ්‍යා ද අගුණ කතා ද පහ කරදමන්න.</verse>
				<verse number="2">සැබැවින් ම සමිඳාණන් වහන්සේ යහපත් බව ඔබ අත්දැකීමෙන් දන්නා බැවින්, ඔබ වර්ධනය වී ගැළවීම ලබන පිණිස අලුත උපන් බිළිඳුන් මෙන් පිරිසිදු ආධ්‍යාත්මික කිරිවලට බොහෝ සෙයින් ආශා වන්න.</verse>
				<verse number="3">***</verse>
				<verse number="4">මිනිසුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවත් දෙවියන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ, අනර්ඝ ජීවමාන ගලක් වැනි, උන් වහන්සේ වෙත පැමිණෙන්න.</verse>
				<verse number="5">ආත්මික ගෘහයක් ගොඩනඟන ලෙස ඔබ ජීවමාන ගල් මෙන් උන් වහන්සේ වෙත පැමිණ, එහි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින්, දෙවියන් වහන්සේට ප්‍රසන්න ආත්මික පූජා පුද කරන පිණිස ශුද්ධ පූජක පිරිසක් වන්න.</verse>
				<verse number="6">එබැවින්: “බලන්න, තෝරාගත් ඉතා අනගි, කොණේ ප්‍රධාන ගලක් සියොන්හි තබමි; උන් වහන්සේ අදහන්නා ලජ්ජාවට නොපැමිණෙන්නේ ය”යි ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇත.</verse>
				<verse number="7">එබැවින් ඒ ගලෙහි වටිනාකමක් ඇත්තේ අදහන ඔබ උදෙසා ය; එහෙත් අදහානොගත් අයට: “ගෙවල් සාදන්නන් ප්‍රතික්ෂේප කළ ගල ම කොණේ ප්‍රධාන ගල වී ඇත.”</verse>
				<verse number="8">තවද: “එය පැකිළී වැටෙන පිණිස ගලක් ද, බාධා වන පිණිස පර්වතයක් ද වී ඇත.” මන්ද, ඔව්හු වචනයට අකීකරු වෙමින් පැකිළෙති. එය ඔවුන්ට නියමිත දේ විය.</verse>
				<verse number="9">එහෙයින්, අන්ධකාරයෙන් ස්වකීය විස්මපත් ආලෝකයට ඔබ කැඳවාගත් තැනැන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියා දන්වනු පිණිස ඔබ වනාහි තෝරාගත් වංශයක් ද රාජකීය පූජක පෙළක් ද ශුද්ධ ජාතියක් ද දෙවියන් වහන්සේ සතු සෙනඟක් ද වන්නහු ය.</verse>
				<verse number="10">වරක් ඔබ දෙවියන් වහන්සේගේ සෙනඟ ව නොසිටියහ; දැන් ඔබ උන් වහන්සේගේ සෙනඟ ව සිටින්නහු ය. වරක් ඔබ දයාව නොලැබ සිටියහු ය; දැන් ඔබ දයාව ලැබ සිටින්නහු ය.</verse>
				<verse number="11">ප්‍රේමවන්තයෙනි, ඔබ ආගන්තුකයන් හා විදේශීන් මෙන්, ආත්මයට විරුද්ධ ව සටන් කරන මාංසික තෘෂ්ණාවලින් වැළකී සිටින ලෙස ඔබගෙන් උදක් ම ඉල්ලමි.</verse>
				<verse number="12">ඔබ නපුර කරන්නෝ යයි විජාතිකයන් ඔබට විරුද්ධ ව කතා කරන නමුත්, ඔවුන් ඔබගේ යහපත් ක්‍රියා දැක විනිශ්චය දවසේ දී දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස ඔවුන් අතර යහපත් හැසිරීමකින් කල් යවන්න.</verse>
				<verse number="13">අතිශ්‍රේෂ්ඨ බලය ඇති රජුට වේවා, අපරාධකරුවන්ට දඬුවම් දීම පිණිසත්, යහපත කරන්නන්ට ප්‍රශංසා කිරීම පිණිසත් රජු විසින් එවන ලද ආණ්ඩුකාරයන්ට වේවා,</verse>
				<verse number="14">සියලු මනුෂ්‍ය නියෝගවලට, සමිඳාණන් වහන්සේ නිසා යටත් වෙන්න.</verse>
				<verse number="15">මන්ද, මෙසේ ඔබ කරන යහපත නිසා අනුවණයන්ගේ අඥානකම නිශ්ශබ්ද කිරීම දෙවියන් වහන්සේගේ කැමැත්ත ය.</verse>
				<verse number="16">නිදහස් අය මෙන් ජීවත් වන්න. එහෙත් ඒ නිදහස, නපුර වසා ගැනීමට මඟක් කර නොගෙන දෙවියන් වහන්සේගේ දාසයන් මෙන් එය භාවිත කරන්න.</verse>
				<verse number="17">සියල්ලන්ට ගරු කරන්න; ඇදහිලිවන්ත සමාජයට ප්‍රේම කරන්න; දෙවියන් වහන්සේට ගෞරවාදර භය පිරිනමන්න; රජුට ගෞරව දක්වන්න.</verse>
				<verse number="18">සේවකයෙනි, යහපත්, කාරුණික ස්වාමිවරුන්ට පමණක් නොව ඔබගේ සැර පරුෂ ස්වාමිවරුන්ටත් ගෞරව කරමින් යටත් වෙන්න.</verse>
				<verse number="19">මන්ද, යමෙක් තමන් දෙවියන් වහන්සේ අබිමුවෙහි සිටින බව සිතාගෙන, අසාධාරණ ලෙස දුක් පීඩා විඳින්නේ නම් එය ප්‍රශංසනීය දෙයකි.</verse>
				<verse number="20">ඔබ වරද කොට, ඊට සුදුසු දඬුවම ලබන කල්හි ඉවසන්නහු නම් එහි කුමන වටිනාකමක් තිබේ ද? එහෙත් ඔබ යහපත කොට, ඒ ගැන දුක් විඳිමින් ඉවසන්නහු නම්, එය දෙවියන් වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්න දෙයකි.</verse>
				<verse number="21">ඔබ කැඳවනු ලැබූයේ මේ සඳහා ය. මන්ද ක්‍රිස්තුන් වහන්සේ ඔබ උදෙසා වද විඳ, ඔබ උන් වහන්සේගේ අඩි පාරේ යන පිණිස ඔබට ආදර්ශයක් දුන් සේක.</verse>
				<verse number="22">උන් වහන්සේ කිසි පවක් නොකළ සේක. කවදා වත් බොරුවක් ද නොවදාළ සේක.</verse>
				<verse number="23">උන් වහන්සේට නින්දා කරනු ලැබූ කල, නින්දා නොකළ සේක. වද වින්ද කල තර්ජනය නොකර, දැහැමි ලෙස විනිශ්චය කරන තැනැන් වහන්සේට තමන් ම භාර දුන් සේක.</verse>
				<verse number="24">පාපවලට අප නැසී, දැහැමි ජීවිතයක් ගත කරන පිණිස, උන් වහන්සේ ම තමන්ගේ ශරීරයෙන් කුරුසිය මත අපගේ පාප ඉසුලූ සේක. ඔබ සුව කරනු ලැබුවේ උන් වහන්සේගේ තුවාළ නිසා ය.</verse>
				<verse number="25">ඔබ බැටළුවන් මෙන් මංමුළා ව යමින් සිටියහු ය. එහෙත් දැන් ඔබගේ ජීවිතවල එඬේරා ද භාරකාරයා ද වෙතට ඔබ හැරී සිටින්නහු ය.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">එසේ ම භාර්යාවෙනි, ඔබගේ ස්වාමි පුරුෂයන්ට යටත් වන්න. එවිට ඔවුන්ගෙන් සමහරෙක් සුබ අස්න නොඅදහන්නන් වුවත්,</verse>
				<verse number="2">ඔබගේ නිර්මල, විනීත හැසිරීමෙන් ඔවුන් දිනාගැනීමට හැකි වනු ඇත.</verse>
				<verse number="3">ඔබගේ අලංකාරය, කොණ්ඩා මෝස්තර ද රන් රිදී ආභරණ ද ඇඳුම් පැළඳුම් ද යන බාහිර දේ පිට රඳා නොතිබිය යුතුයි.</verse>
				<verse number="4">එය පෙන්විය යුත්තේ අභ්‍යන්තරයෙහි, හදවතින් නඟින කාරුණික තැන්පත් ගතිපැවතුම් මඟිනි. ඒ අලංකාර ය; දිරා නොයන සුලු ය; දෙවියන් වහන්සේ ඉදිරියේ ඉතා අගනේ ය.</verse>
				<verse number="5">පුරාණ කාලයේ දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තුව තැබූ භක්තිවන්ත ස්ත්‍රීවරු ස්වකීය ස්වාමි පුරුෂයන්ට යටත් ව මෙලෙස අලංකාරවත් වූ හ.</verse>
				<verse number="6">ඒ අයුරින් සාරා ආබ්‍රහම්ට “මාගේ ස්වාමියා” යයි කියමින් කීකරු වූවා ය. ඔබත්, බිය නොවී යහපත කරන්නහු නම් ඇගේ දරුවෝ වන්නහු ය.</verse>
				<verse number="7">එසේ ම පුරුෂයෙනි, ඔබගේ විවාහ ජීවිතයේ දී ඔබත් ඔබගේ භාර්යාවන් සමඟ අවබෝධයෙන් යුතු ව හැසිරෙන්න. ඔවුන් දුබල පක්ෂය වන බැවින් ඔවුන්ට ගෞරව කරන්න. මන්ද, ඔබ හා සමඟ ඔව්හු ද දෙවියන් වහන්සේ නොමිලයේ දෙන දීමනාව වූ ජීවිතයට හවුල් උරුමක්කාරයෝ වන්නහු ය. එවිට ඔබේ යාච්ඤාවලට බාධා නොපැමිණෙයි.</verse>
				<verse number="8">අවසාන කොට ඔබ සියල්ලෝ ම එක්සිත් ව ද සානුකම්පික ව ද සහෝදර ස්නේහය ඇති ව ද සිටින්න. දයාව ද යටහත්කම ද ඇති ව සිට,</verse>
				<verse number="9">නපුරට නපුර වත්, නින්දාවට නින්දාව වත් නොකරන්න. ඒ වෙනුවට, ආශීර්වාදයක් උරුම වන පිණිස ඔබ කැඳවනු ලැබූ බැවින්, ආශීර්වාද ම කරන්න.</verse>
				<verse number="10">ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත: “ජීවිතයට ප්‍රේම කරන, වාසනාවන්ත දවස් දැකීමට කැමැති තැනැත්තේ තමාගේ දිව නපුරෙන් ද තොල් වංචා සහගත වදනින් ද වළක්වාගනී වා!</verse>
				<verse number="11">නපුරට පිටුපා යහපත කරා වා! සාමය සොයා එය ලුහුබඳී වා!</verse>
				<verse number="12">මන්ද, ස්වාමීන්ගේ දෙනෙත් දමිටුන් දෙසටත්, දෙසවන් ඔවුන්ගේ යැදුම් දෙසටත් යොමා ඇත. එහෙත් ස්වාමීන්ගේ වත දුදනන්ට එරෙහි ව ඇත.”</verse>
				<verse number="13">ඔබ යහපතට කැප වී සිටින්නහු නම් ඔබට අනතුරු කරන්නේ කවරෙක් ද?</verse>
				<verse number="14">එහෙත් ඔබ දමිටුකම නිසා දුක් විඳින්නහු නම් ඔබ ආසිරි ලද්දහු ය. ඔවුන්ට බිය නොවී, නොකැළඹී සිටින්න.</verse>
				<verse number="15">ඔබගේ සිතින් ක්‍රිස්තුන් වහන්සේට සමිඳාණන් වහන්සේ හැටියට, ගෞරව කරන්න. ඔබට ඇති බලාපොරොත්තුව ගැන ඔබෙන් ප්‍රශ්න කරන සියල්ලන්ට පිළිතුරු දීමට නිතර සූදානම් ව සිටින්න.</verse>
				<verse number="16">එහෙත් ආචාරශීලී ව ද ගෞරවයෙන් යුක්ත ව ද එසේ කළ යුතු ය. ඔබ නිදොස් හෘදය සාක්ෂියක් ඇති ව සිටින්න. එවිට ඔබට අපහාස කරමින් ඔබට විරුද්ධ ව කතා කරන අය, ක්‍රිස්තුන් වහන්සේගේ අනුගාමිකයන් වශයෙන් ඔබේ යහපත් හැසිරීම දැක ලජ්ජාවට පැමිණෙනු ඇත.</verse>
				<verse number="17">ඔබ යහපත කර දුක් විඳීම දේව කැමැත්ත වේ නම්, එය නපුර කර දුක් විඳීමට වඩා හොඳ ය.</verse>
				<verse number="18">ක්‍රිස්තුන් වහන්සේ ඔබේ පව් උදෙසා වරක් දිවි පිදූ සේක. උන් වහන්සේ ධර්මිෂ්ඨ ව සිටි නමුත් දෙවියන් වහන්සේ වෙතට ඔබ පමුණුවන පිණිස අධර්මිෂ්ඨයන් වෙනුවෙන් දිවි පිදූ සේක. උන් වහන්සේ මනුෂ්‍ය ස්වභාවයෙන් මරණයට පත් කරනු ලැබූ සේක; ආත්මික ස්වභාවයෙන් උත්ථාන කරනු ලැබූ සේක.</verse>
				<verse number="19">එම ආත්මික ස්වභාවයෙන් උන් වහන්සේ ගොස් සිර ගෙයි සිටි ආත්මයන්ට ප්‍රකාශ කළ සේක.</verse>
				<verse number="20">ඔව්හු වනාහි නෝවාගේ කාලයේ දී ඔහු නැව සාදන අතර, දෙවියන් වහන්සේ ඉවසිල්ලෙන් සිටිය දී උන් වහන්සේට අකීකරු වූ ආත්මයන් වෙති. ඒ නැවට ඇතුළු වූ, ස්වල්ප දෙනෙක්, එනම්, අට දෙනෙක් වතුරෙන් ගළවනු ලැබුවෝ ය.</verse>
				<verse number="21">මෙහි වතුර යන්නෙන් අදහස් කරනු ලබන්නේ අපට ගැළවීම ලබා දෙන බව්තීස්ම-ස්නාපනය යි. එය වනාහි ශරීරයේ කිළුටු සේදීමක් නොව, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පුනරුජ්ජීවනය කරණකොටගෙන නිදොස් හෘදය සාක්ෂියකින් දෙවියන් වහන්සේට කරන පොරොන්දුවක් ය.</verse>
				<verse number="22">උන් වහන්සේ ස්වර්ගයට වැඩම කර දෙවියන් වහන්සේගේ දකුණත වැඩ සිටින සේක. දේව දූතයෝ ද බලතාවයෝ ද අනුභාවයෝ ද උන් වහන්සේට යටත් කරනු ලැබූ හ.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">ක්‍රිස්තුන් වහන්සේ ශාරීරික වශයෙන් දුක් වින්ද බැවින්, ඔබත් එවැනි අධිෂ්ඨානයකින් සැරසී සිටින්න. මන්ද, ඒ අන්දමින් ශාරීරික ලෙස දුක් වින්ද තැනැත්තේ පාපයෙන් නිදහස් වී සිටියි.</verse>
				<verse number="2">එවිට මේ ජීවිතයේ ඉතිරි කාලයේ තවදුරටත් මනුෂ්‍ය තෘෂ්ණා අනුව නොව, දේව කැමැත්ත ලෙස ඔහුට ජීවත් විය හැකි ය.</verse>
				<verse number="3">මන්ද, විජාතීන් කැමැති දේ කිරීමට පසුගිය කාලයේ දී ඔබටත් ඇති තරම් කල් වේලා තිබිණි. ඒ කාලයේ දී ඔබ අනාචාරකමින් ද සල්ලාලකමින් ද බීමත්කමින් ද අශෝභන උත්සවවලින් ද මධුපානෝත්සවවලින් ද පිළිකුල් රූප ඇදහිල්ලෙන් ද ජීවිතය ගත කළහු ය.</verse>
				<verse number="4">විජාතීන් සමඟ ඔබ අධික අවකල් ක්‍රියාවල නොයෙදෙන බැවින් ඔව්හු ඒ ගැන පුදුම වී ඔබට අපහාස කරති.</verse>
				<verse number="5">ජීවතුන් හා මළවුන් විනිශ්චය කරන්නට සිටින තැනැන් වහන්සේට ඔවුන් වග උත්තර දිය යුතු ව ඇත.</verse>
				<verse number="6">මක්නිසා ද මළවුන්ට පවා ශුභාරංචිය දේශනා කරනු ලැබී ය. මන්ද, සියලු මනුෂ්‍යයන් විනිශ්චය කරන ආකාරයට මාංසයෙන් විනිශ්චය කරනු ලබන නමුත්, ආත්මයෙන් දෙවියන් වහන්සේ මෙන් ජීවත් වන පිණිස ය.</verse>
				<verse number="7">සියලු දේවල අවසානය ළං වී ඇත. එබැවින් ඔබ සිහි කල්පනාවෙන් යුතු ව යාච්ඤාව සඳහා අවදිව සිටින්න.</verse>
				<verse number="8">ප්‍රේමය පව් රාශියක් කමා කිරීමට හේතු වන බැවින්, සියලු දේට වඩා එකිනෙකා කෙරෙහි ඉමහත් ප්‍රේමයක් ඇති ව සිටින්න.</verse>
				<verse number="9">මැසිවිලි නොකියා එකිනෙකාට ආගන්තුක සත්කාර කරන්න.</verse>
				<verse number="10">දෙවියන් වහන්සේගේ විවිධාකාර වරප්‍රසාදවල විශ්වාසී ගබඩාකාරයන් මෙන්, එකිනෙකා ලබා ඇති කුශලතා එකිනෙකාට සේවය කරන පිණිස යොදන්න.</verse>
				<verse number="11">යමෙක් දේශනා කරන්නේ නම් දේව වචනය දේශනා කෙරේ වා! යමෙක් සේවය කරන්නේ නම්, දෙවියන් වහන්සේ ප්‍රදානය කරන ශක්තිය අනුව ඔහු සේවය කරා වා! ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේට සියලු කාරණාවල දී ගෞරව පැමිණෙන පිණිස එසේ කළ යුතු ය. මහිමයත්, පරාක්‍රමයත් සදහට ම උන් වහන්සේගේ ය. ආමෙන්.</verse>
				<verse number="12">ප්‍රේමවන්තයෙනි, ඔබ පරීක්ෂා කර බලන පිණිස පැමිණෙන, ඔබ අතර ඇති පීඩා නමැති ගින්න ගැන, නොසිතූ දෙයක් ඔබට සිදු වන්නාක් මෙන් පුදුම නොවන්න.</verse>
				<verse number="13">එසේ නොව, ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීමට පංගුකාරයන් වන තරමට ප්‍රීති වන්න. මෙසේ උන් වහන්සේගේ තේජාන්විත එළිදරව්වීමේ දී ඔබ ප්‍රීතියෙන් ප්‍රමුදිත වනු ඇත.</verse>
				<verse number="14">ක්‍රිස්තුන් වහන්සේගේ නාමය නිසා නින්දා කරනු ලබන්නහු නම් ඔබ ආශීර්වාද ලද්දහු ය. මන්ද, තේජාන්විත ආත්මයාණන් වහන්සේ වන දෙවියන් වහන්සේගේ ආත්මයාණෝ ඔබ කෙරෙහි රඳන සේක.</verse>
				<verse number="15">ඔබෙන් කිසිවෙකු මිනී මරන්නෙකු හෝ, සොරෙකු හෝ, අපරාධකරුවෙකු හෝ අනුන්ගේ කාරණාවලට මැදිවන්නෙකු හෝ ලෙස දුක් නොවිඳිය යුතු ය.</verse>
				<verse number="16">එහෙත් යමෙක් කිතුනුවෙකු මෙන් දුක් විඳී නම්, ඒ ගැන ලජ්ජා නොවී, ඔබ කිතුනු නාමය දරන බැවින් දෙවියන් වහන්සේට ගෞරව කරන්න.</verse>
				<verse number="17">විනිශ්චය කිරීමේ කාලය පැමිණ ඇත; පළමුකොට විනිශ්චය කරනු ලබන්නේ දෙවියන් වහන්සේගේ ම සෙනඟ ය. එය අපෙන් පටන්ගන්නේ නම්, දෙවියන් වහන්සේගේ සුබ අස්නට කීකරු නොවන්නන්ගේ ඉරණම කුමක් වනු ඇද් ද?</verse>
				<verse number="18">ශුද්ධ ලියවිල්ලේ කියා ඇති පරිදි: “දැහැමි කෙනෙකුට ගැළවීම දුෂ්කර වේ නම්, අභක්තිකයාට හා පාපිෂ්ඨයාට කුමකින් කුමක් වෙයි ද?”</verse>
				<verse number="19">එහෙයින් දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව දුක් විඳින්නෝ යහපත කරමින්, විශ්වාස කටයුතු මැවුම්කාරයාණන්ට තමන් ම භාර වෙත්වා!</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීමට සාක්ෂිකාරයෙකු ද එළිදරව් වන්නට තිබෙන උන් වහන්සේගේ තේජසට පංගුකාරයෙකු ද වන්නට බලාපොරොත්තුවෙන් සිටින සභා මූලිකයෙකු වන මම, ඔබ අතර සිටින සභා මූලිකයන්ගෙන් ඉල්ලීමක් කරමි:</verse>
				<verse number="2">ඔබට භාර දෙන ලද දෙවියන් වහන්සේගේ බැටළු රැළ පෝෂණය කරන්න; බල කිරීමක් නිසා නොව දේව කැමැත්ත අනුව සතුටු සිතින් එසේ කරන්න; මුදලට ඇති ගිජුකමින් නොව, සේවයට ළැදියාවෙන් එසේ කරන්න.</verse>
				<verse number="3">ඔබට භාර ව සිටින අය කෙරෙහි ආධිපත්‍යය පෑමෙන් වැළකී රැළට ආදර්ශයක් වන්න.</verse>
				<verse number="4">එවිට ප්‍රධාන එඬේරාණන් ප්‍රකාශ වන කල්හි ඔබ නොමැලවෙන මහිමාන්විත කිරුළ ලබන්නහු ය.</verse>
				<verse number="5">තවද, තරුණයෙනි, සභා මූලිකයන්ට යටත් වන්න. ඔබ සියල්ලන් එකිනෙකා කෙරෙහි යටහත්කමින් සැරසී සිටින්න. මන්ද, දෙවියන් වහන්සේ උඩඟු අයට විරුද්ධ ව සිට යටහත් අයට කරුණාව දක්වන සේක.</verse>
				<verse number="6">එබැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලයෙහි දී ඔබ උසස් කරනු පිණිස උන් වහන්සේගේ බලවත් හස්තයට යටත් වන්න.</verse>
				<verse number="7">උන් වහන්සේ ඔබ ගැන සලකන හෙයින්, ඔබගේ හැම කරදරයක් ම උන් වහන්සේට භාර දෙන්න.</verse>
				<verse number="8">සිහිසන් ඇති ව අවදි ව ඉන්න. ඔබගේ විරුද්ධකාරයා වන යක්ෂයා, ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලගනිම් දෝ හෝ යි සොයමින් ඔබමොබ ඇවිදින්නේ ය.</verse>
				<verse number="9">ලොව පුරා සිටින ඔබගේ සහෝදරයන් එම දුක් කරදරවලට ම භාජන වන බව ඔබ දන්නා බැවින්, ඔබගේ ඇදහිල්ලෙහි ස්ථීර ව සිට, යක්ෂයාට විරුද්ධ වන්න.</verse>
				<verse number="10">එවිට ක්‍රිස්තුන් වහන්සේ මඟින් ස්වකීය සදාතන තේජසට ඔබ කැඳවූ සියලු වරප්‍රසාද දෙන දෙවියන් වහන්සේ ම ඔබ ස්වල්ප කලක් දුක් වින්ද පසු, ඔබ සම්පූර්ණ කර, ස්ථීර, ශක්තිමත් පදනමක් මත පිහිටුවන සේක.</verse>
				<verse number="11">උන් වහන්සේට සදහට ම පරාක්‍රමය වේ වා! ආමෙන්.</verse>
				<verse number="12">මේ ලුහුඬු හසුන, අපගේ විශ්වාස කටයුතු සහෝදරයෙකු වශයෙන් මා සලකන සිල්වානස්ගේ උපකාරයෙන් ලියා ඔහු අත ඔබ වෙත එවීමි. එසේ එවන්නේ, ඔබ ධෛර්යවත් කර මේ සියල්ල සත්‍යය දේව වරප්‍රසාදය බවට සාක්ෂි දෙන පිණිස ය. එහි ස්ථීර ව පිහිටා සිටින්න.</verse>
				<verse number="13">ඔබ සමඟ තෝරාගනු ලැබූ බබිලෝනියෙහි ඇති සභා තොමෝ ඔබට ආචාර කරන්නී ය. මාගේ පුත්‍ර මාක් ද එසේ ම ඔබට ආචාර කරයි.</verse>
				<verse number="14">ප්‍රේම සිඹීමකින් එකිනෙකාට ආචාර කරන්න. ක්‍රිස්තුන් වහන්සේට අයිති ඔබ සියල්ලනට සාමදානය වේ වා!</verse>
			</chapter>
		</book>
		<book number="61">
			<chapter number="1">
				<verse number="1">මේ හසුන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයෙකු ද ප්‍රේරිතවරයෙකු ද වන සීමොන් පේදුරුගෙනි. මෙය ලියා එවන්නේ, අපගේ දෙවියන් වහන්සේ ද ගැළවුම්කාරයාණන් ද වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ධර්මිෂ්ඨකමින් අප මෙන් ම අනර්ඝ ඇදහිල්ලක් ලැබූ ඔබ වෙතට ය.</verse>
				<verse number="2">දෙවියන් වහන්සේ ද අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ ද දැනගැන්මෙන්, කරුණාවත් සාමදානයත් බහුල ලෙස ඔබට ලැබේ වා!</verse>
				<verse number="3">උන් වහන්සේ ස්වකීය දිව්‍ය බලයෙන් ජීවිතයට හා භක්තිවන්තකමට අදාළ වන සියලු දේ අපට දී ඇත. එසේ දී ඇත්තේ තමන් වහන්සේගේ මහිමයට හා යහපත්කමට පංගුකාරයන් වීමට අප කැඳවාගත් තැනැන් වහන්සේ දැනගැනීම කරණකොටගෙන ය.</verse>
				<verse number="4">මෙලෙස උන් වහන්සේ ඉතා අගනා, අතිඋතුම් පොරොන්දු අපට දානය කර ඇත. එසේ කෙළේ තෘෂ්ණාව නිසා ලෝකයෙහි ඇති දූෂ්‍යකමින් ඔබ ගැළවී ඒ පොරොන්දු මඟින් දේව ස්වභාවයට පංගුකාරයන් වන පිණිස ය.</verse>
				<verse number="5">එබැවින් ඔබේ මුළු වීර්යයෙන් ඇදහිල්ලට යහපත්කම ද යහපත්කමට දැනගැන්ම ද,</verse>
				<verse number="6">දැනගැන්මට ආත්ම දමනය ද, ආත්ම දමනයට ඉවසිල්ල ද ඉවසිල්ලට දේව භක්තිය ද</verse>
				<verse number="7">දේව භක්තියට සහෝදර ස්නේහය ද, සහෝදර ස්නේහයට ප්‍රේමය ද එකතු කරන්න.</verse>
				<verse number="8">මේ ගුණ දහම් ඔබ තුළ වර්ධනය වෙමින් පවතී නම්, ඒවා අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දැන ගැනීමෙහි ලා, අලස වීමට වත්, නිෂ්ඵල වීමට වත්, ඔබට ඉඩ නොදෙයි.</verse>
				<verse number="9">මේ ගුණ දහම් නැති තැනැත්තේ අදූරදර්ශී අන්ධ කෙනෙ‍කි. ඔහු, තමා අතීතයේ කළ පව්වලින් පවිත්‍ර කරනු ලැබූ බව අමතක කර ඇත.</verse>
				<verse number="10">එබැවින් සහෝදරවරුනි, ඔබගේ කැඳවීම ද තෝරාගනු ලැබීම ද තහවුරු කරන පිණිස වඩාත් උද්‍යෝගී ව ක්‍රියා කරන්න. මෙසේ කළොත් ඔබ කිසි කලෙක ඇදහිල්ල අත්හරින්නේ නැත.</verse>
				<verse number="11">මෙසේ අපගේ ස්වාමීන් ද ගැළවුම්කාරයාණන් ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සදාතන රාජ්‍යයට පිවිසීමේ අයිතිය සම්පූර්ණයෙන් ම ඔබට සහතික කරනු ලැබේ.</verse>
				<verse number="12">එබැවින් ඔබ මේ දේවල් දැනටමත් දැන, ඔබ ලබා ඇති මේ සත්‍යයෙහි ස්ථිර ව පවතින නමුත්, නැවත නැවත ඒවා ඔබට සිහි කරවීමට මම අදහස් කරමි.</verse>
				<verse number="13">මා ජීවත් ව සිටින තුරු, මේ දේවල් ඔබට සිහිගැන්වීම මාගේ යුතුකම යයි මම සිතමි.</verse>
				<verse number="14">මන්ද, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ වටහා දුන් ලෙස, නොබෝ කලකින් කූඩාරමක් වැනි මේ ශරීරය හැරපියා යන බව මම දනිමි.</verse>
				<verse number="15">එබැවින් මාගේ ඇවෑමෙන් පසු ඔබට මේ දේවල් හැම කල්හි ම සිහි කරගැන්මට පිළිවන් වන පිණිස මට හැකි හැම දේ ම මම කරමි.</verse>
				<verse number="16">අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ බලයත් තේජාන්විත ආගමනයත් ගැන අප ඔබට දැන්වූ කල, අප එසේ කෙළේ හිතා මතා ගෙතූ ප්‍රබන්ධ අනුව නොව, උන් වහන්සේගේ මහිමශ්‍රීය අපගේ ම ඇස්වලින් දුටු අය ලෙසිනි.</verse>
				<verse number="17">“මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාණෝ ය; මොහු කෙරෙහි මම ප්‍රසන්න ව සිටිමි” කියන හඬක් උත්කෘෂ්ට තේජසින් උන් වහන්සේ කරා පහළ වූ කල්හි දෙවි පියාණන් වහන්සේගේ ගෞරවයත් මහිමයත් උන් වහන්සේ ලැබූ සේක.</verse>
				<verse number="18">උන් වහන්සේ සමඟ ශුද්ධ කන්ද මත සිටිය දී මේ හඬ ස්වර්ගයෙන් නික්ම එනු අපි අපේ ම කන්වලින් ඇසීමු.</verse>
				<verse number="19">ඒ නිසා දිවැසිවරුන් ප්‍රකාශ කළ පණිවුඩය වඩාත් ස්ථිර ලෙස අප සතු ව ඇත. ඔබේ අවධානය ඊට යොමු කිරීම යෙහෙකි. මන්ද, එය අලුයම පැමිණ, පහන් තරුව ඔබගේ සිත්හි උදා වන තුරු, අඳුරු තැනක බබළන පහනක් මෙනි.</verse>
				<verse number="20">එහෙත් ශුද්ධ ලියවිල්ලෙහි එන දිවැස් වැකියක් කිසිවෙකුට තමා විසින් ම විසඳාගැනීම නොහැකි බව පළමුකොට ඔබ දැනගත යුතු ය.</verse>
				<verse number="21">මන්ද කිසි ම දිවැස් වැකියක් කිසි කලෙක මනුෂ්‍ය ප්‍රයත්නයකින් ඇති නො වී ය. මනුෂ්‍යයෝ ශුද්ධාත්මානුභාවයෙන් පොළඹවනු ලැබ දෙවියන් වහන්සේගේ වචනය කතා කළහ.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">පෙර කාලයේ ජනතාව අතර බොරු දිවැසිවරුන් පහළ වූවාක් මෙන් ඔබ අතර බොරු ගුරුවරුන් පහළ වනු ඇත. ඔව්හු විනාශකාරී අසත්‍ය ධර්ම උපදවමින්, තමන් මිදූ සමිඳාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරමින්, තමන් පිට හදිසි විනාශය පමුණුවාගන්නෝ ය.</verse>
				<verse number="2">බොහෝ දෙනෙක් ඔවුන්ගේ දුරාචාරය අනුගමනය කරන්නෝ ය. ඔවුන් නිසා සත්‍ය මාර්ගය අපකීර්තියට පැමිණෙනු ඇත.</verse>
				<verse number="3">ඔවුන්ගේ තණ්හාව නිසා ඔව්හු වංචනික ඉගැන්වීම්වලින්, ඔබ වෙළඳ බඩු බවට පත් කරගන්නෝ ය. ඔවුන්ගේ විනිශ්චය පුරාණයේ සිට ම පැවත එයි. එය අවලංගු වී නැත. ඔවුන්ගේ විනාශකයා නොනිඳා සිටියි.</verse>
				<verse number="4">පව් කළ දේව දූතයන්ට දෙවියන් වහන්සේ දඬුවම් දීමෙන් නොවැළකී, ඔවුන්ගේ විනිශ්චය සඳහා ඔවුන් වෙන් කර තැබීමට නිරයෙහි හෙළා, අන්ධකාර ගුහාවලට භාර දුන් සේක.</verse>
				<verse number="5">උන් වහන්සේ පුරාණ ලෝකයට අනුකම්පා නොකොට අභක්තිකයන්ගෙන් පිරුණු ලෝකය පිට ජලගැල්මක් පැමිණවූ නමුත්, ධර්මිෂ්ඨකම දේශනා කළ නෝවා සහ තවත් සත් දෙනෙකු පමණක් ආරක්ෂා කළ සේක.</verse>
				<verse number="6">තවද උන් වහන්සේ සොදොම් සහ ගොමොරා නගර විනාශයට තීන්දු කරමින් ගිනිබත් කොට අනාගතයේ දී අභක්තිකයන් ලෙස හැසිරෙන්නන්ට අනතුරු හැඟවීමක් කළ සේක.</verse>
				<verse number="7">එහෙත් උන් වහන්සේ අභක්තික මනුෂ්‍යයන්ගේ අනාචාර හැසිරීම ගැන සංවේගයට පත් වූ දැහැමි මිනිසෙකු වන ලොත් ගළවාගත් සේක.</verse>
				<verse number="8">ඒ යහපත් මනුෂ්‍යයා ඔවුන් මැද ජීවත් වූ අතර, දිනපතා එහි සිදු වූ දේවල් දැකීමෙන් ද ඇසීමෙන් ද ඔවුන්ගේ අසභ්‍ය ජීවිතය නිසා ඔහුගේ යහපත් සිත දැඩි දුකින් පෙළුණේ ය.</verse>
				<verse number="9">මෙයින් පෙනෙන්නේ, සමිඳාණන් වහන්සේ භක්තිවන්තයන් පරීක්ෂාවලින් ගළවන්නට ද අභක්තිකයන් විනිශ්චයේ දවස දක්වා දඬුවම යටතේ තබන්නට ද දන්නා බව ය.</verse>
				<verse number="10">විශේෂයෙන් ශාරීරික ලෙස අපිරිසිදුකමේ තෘෂ්ණාව අනුව හැසිරෙන්නන්ට ද ආධිපත්‍යයට අපහාස කරන්නන්ට ද උන් වහන්සේ එසේ කරන සේක. සාහසික අහංකාරී මොවුහු, ස්වර්ගයේ උත්තමයන්ට නින්දා කිරීමට බිය නොවෙති.</verse>
				<verse number="11">පරාක්‍රමයෙන් හා බලයෙන් ඔවුන්ට වඩා උතුම් දේව දූතයෝ වුව ද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ස්වර්ගයේ උත්තමයන්ට නින්දා සහගත චෝදනාවක් නොකරති.</verse>
				<verse number="12">එහෙත් අල්ලාගෙන විනාශ කරනු ලැබීමට උපන් නුවණ නැති තිරිසනුන් වැනි මොවුහු, තමන් නොදන්නා දෙයට අපහාස කරති. ඔව්හු වන මෘගයන් මෙන් විනාශ කරනු ලබති.</verse>
				<verse number="13">ඔවුන් ඇති කළ දුකෙහි විපාකය ඔව්හු ම විඳිති. දිවා කාලයෙහි කම් සැප සේවනය ඔවුන්ගේ ප්‍රීතිය වේ. ඔව්හු ඔබගේ සමාගමට කැළලක් හා පලුද්දක් වෙති. ඔවුන් ඔබ සමඟ මංගල භෝජන වළඳන විට ඔව්හු ඔබ රවටා ප්‍රීති වෙති.</verse>
				<verse number="14">ඔවුන්ගේ ඇස් කාමුක බැල්මෙන් පිරී ඇත. ඔවුන්ගේ පාපාශාවන්ට තෘප්තියක් නැත. ඔව්හු වැනෙන සුලු පුද්ගලයන් වරදට පොළඹවන්නෝ ය. ඔව්හු තණ්හාවට ඇබ්බැහි වූ සිත් ඇත්තෝ ය. සාප ලත් දරුවෝ ය.</verse>
				<verse number="15">ඔව්හු හරිමඟ හැර දමා මුළා වූ හ. මුදලට තණ්හාවෙන් අයුතුකම් කිරීමට කැමැති වූ බෙයෝර්ගේ පුත් බාලාම් දිවැසිවරයාගේ මාර්ගයේ ඔව්හු ගියහ.</verse>
				<verse number="16">එහෙත් බාලාම් තමා කළ අපරාධය ගැන තරවටු ලැබී ය. ගොළු කොටළුවෙක් මිනිස් හඬින් කතා කොට ඒ දිවැසිවරයාගේ ඔල්මාදය වැළැක්විය.</verse>
				<verse number="17">ඔව්හු දිය සිඳුණු උල්පත් වැනි ය. සැඬ සුළඟින් ගසාගෙන යන මීදුම් පටල වැනි ය. ඔවුන්ට ඝනාන්ධකාරයෙහි ස්ථානයක් වෙන් කර ඇත.</verse>
				<verse number="18">ඔව්හු අහංකාර නිෂ්ඵල වචන දොඩමින්, වරදෙහි වසන්නන් කෙරෙන් යන්තම් ගැළවී යන අය, කාම තෘෂ්ණාවෙන් පොළඹවා ගනිති.</verse>
				<verse number="19">තමන් ම දූෂ්‍යකමට වහල් ව සිටින ඔව්හු, අන්‍යයන්ට නිදහස දීමට පොරොන්දු වෙති. මන්ද, යමකට වසඟ වන තැනැත්තා, එයට වහලෙක් වෙයි.</verse>
				<verse number="20">අප ස්වාමීන් ද ගැළවුම්කාරයාණන් ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දැනගැනීමෙන්, ලෝකයේ දූෂණවලින් මිදුණායින් පසු, ඔවුන් යළිත් ඒවාට පටලැවී වසඟ වුණොත්, ඔවුන්ගේ දැන් තත්ත්වය පළමු තත්ත්වයට වඩා භයානක ය.</verse>
				<verse number="21">ඔවුන් දැහැමි මඟ දැනගත්තායින් පසු ඔවුන්ට භාර දුන් ශුද්ධ වූ ව්‍යවස්ථාවට පිටුපා යාමට වඩා, ඒ මාර්ගය ඔවුන් නොදැන සිටියා නම් වඩා හොඳ ය.</verse>
				<verse number="22">“බල්ලා උගේ ම වමනයට හැරී එයි; සේදූ පසුත් ඊරි මඬ වගුරෙහි පෙරළෙයි” යන මේ ප්‍රස්තා පිරුළ ඔවුන් ගැන සැබෑ ය.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">ප්‍රේමවන්තයෙනි, දැන් මෙය මා ඔබ වෙත ලියා එවන දෙ වන හසුන ය. මාගේ මේ හසුන් දෙකින් ම ඔබට යම් යම් දේ සිහිගන්වා, ඔබ තුළ සිත් පිබිදවීමක් ඇති කිරීමට උත්සාහ කළෙමි.</verse>
				<verse number="2">ශුද්ධ දිවැසිවරුන් විසින් පළමුවෙන් කියන ලද වචන ද, ඔබගේ ප්‍රේරිතයන් විසින් ඔබට දෙන ලද ගැළවුම්කාර සමිඳාණන් වහන්සේගේ ආඥා ද සිහියට ගන්න.</verse>
				<verse number="3">මෙය පළමුකොට දැනගන්න; අන්තිම දවස්වල දී තමන්ගේ තෘෂ්ණා අනුව හැසිරෙන, ඔබට සරදම් කරන ගරහන්නන් පැමිණ මෙසේ කියනු ඇත.</verse>
				<verse number="4">“උන් වහන්සේගේ ආගමනය පිළිබඳ පොරොන්දුවට කිමෙක් වී ද? පියවරුන් මළ පසු සියලු දේ මැවීමේ පටන්ගැන්මේ සිට තිබුණු ලෙස ම තවමත් පවතිනවා නොවේ ද?”</verse>
				<verse number="5">මෙසේ කීමෙන් ඔව්හු ඕනෑකමින් ම මේ දේවල් අමතක කරති. එනම්, දේව වචනය කරණකොටගෙන, පුරාණයේ පටන් අහසක් ද, වතුරට යා වූ, වතුර මධ්‍යයෙහි වූ පොළවක් ද තිබුණ බවත්,</verse>
				<verse number="6">එම වචනය කරණකොටගෙන එකල පැවති ලෝකය ජල ගැල්මෙන් විනාශ වූ බවත් අමතක කරති.</verse>
				<verse number="7">දැන් පවතින අහස හා පොළොව, එම වචනයෙන් ම, විනිශ්චයේ හා අභක්තිකයන්ගේ විනාශයේ දවස දක්වා, ගිනිබත් කිරීම පිණිස ඉතිරි කොට තබා ඇති බව ද ඔව්හු අමතක කරති.</verse>
				<verse number="8">එහෙත් ප්‍රේමවන්තයෙනි, ‘සමිඳාණන් වහන්සේට එක දවසක් අවුරුදු දහසක් මෙන් ය, අවුරුදු දහසක් එක දවසක් මෙන් ය,’ යන වැදගත් සත්‍යය අමතක නොකරන්න.</verse>
				<verse number="9">පමා වී ඇතැ යි සමහරුන් සිතන නමුත්, සමිඳාණන් වහන්සේ සිය පොරොන්දු ඉටු කිරීමට පමා වී නැත. එහෙත්, කිසිවෙකු විනාශ වීම උන් වහන්සේගේ කැමැත්ත නොවන බැවින්, සියල්ලනට පසුතැවී සිත් හරවා ගැනීම සඳහා අවස්ථාවක් ලැබෙනු පිණිස උන් වහන්සේ ඔබ ගැන බොහෝ කල් ඉවසන සේක.</verse>
				<verse number="10">එහෙත් සමිඳාණන් වහන්සේගේ දවස සොරෙකු මෙන් හදිසියෙන් පැමිණෙයි. ඒ දවසේ දී අහස ගිගුරුම් හඬ දෙමින් පහ වී යන්නේ ය; මහා භූතයෝ ද ගිනිගෙන උණු වී යන්නෝ ය; පොළොව ද එහි ඇති සියල්ල ද දැවී විනාශ වී යන්නේ ය.</verse>
				<verse number="11">මේ මුළු විශ්වය මේ අයුරින් විනාශ වී යන බැවින්, ඔබ කොයි ආකාර අය විය යුතු ද? ඔබ ශුද්ධ හැසිරීමකින් භක්තිවන්ත ලෙස ජීවත් විය යුතු ය.</verse>
				<verse number="12">දෙවියන් වහන්සේගේ දවස පැමිණීම බලා සිට, එය ඉක්මන් කිරීමට උත්සාහ කරන්න. ඒ දවසේ දී අහස ගිනිගෙන විනාශ වනු ඇත. මහා භූතයන් දැවී උණු වී යනු ඇත.</verse>
				<verse number="13">එහෙත් ධර්මිෂ්ඨකමට වාස භූමිය වූ නව අහසක් ද නව පොළොවක් ද දෙවියන් වහන්සේ අපට පොරොන්දු වී ඇත. අපි එය බලාපොරොත්තුවෙන් සිටිමු.</verse>
				<verse number="14">එබැවින්, ප්‍රේමවන්තයෙනි, ඔබ මේ දේවල් බලාපොරොත්තුවෙන් සිටින අතර, උන් වහන්සේ ඉදිරියෙහි නොකැළැල් ව, නිදොස් ව සිටින්නට දැඩි උත්සාහයක් ගෙන, උන් වහන්සේ සමඟ සාමදානයෙන් සිටින්න.</verse>
				<verse number="15">අපගේ සමිඳාණන් වහන්සේ බොහෝ කල් ඉවසන්නේ ඔබට ගැළවීමට අවස්ථාවක් දෙන පිණිස බව සිහි කරන්න. අපගේ ප්‍රේමවන්ත සහෝදර පාවුලු, තමා ලත් ප්‍රඥාව අනුව ඔබට ලියා එව්වේත් මේ දේ ම ය.</verse>
				<verse number="16">තවද, මේ කාරණා ගැන ලියන විට, ඔහු තමාගේ හසුන්වල කියන්නේත් මේ දේ ම ය. ඒවායේ තේරුම්ගැනීමට දුෂ්කර සමහර දේ ඇත. නූගත් අස්ථීර අය ශුද්ධ ලියවිල්ලේ සෙසු කොටස්වල මෙන් මේවායේත් අර්ථය නොපිට පෙරළාගනිති. එයින් ඔවුන්ගේ විනාශය සිදු වේ.</verse>
				<verse number="17">එහෙත් ප්‍රේමවන්තයෙනි, ඔබට මේ දේවල් කල්තියා ම දන්වා ඇත. ඒ නිසා ප්‍රතිපත්ති රහිත අයගේ දුර්මතවලින් මුළා නොවී, ඔබගේ ස්ථීර භාවයෙන් නොවැටෙන්නට බලාගන්න.</verse>
				<verse number="18">අපගේ ස්වාමීන් ද ගැළවුම්කාරයාණන් ද වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයෙහි ද උන් වහන්සේ දැනගැන්මෙහි ද වැඩිවර්ධනය වෙන්න. දැනුත් සදහටත් උන් වහන්සේට මහිමය වේ වා! ආමෙන්.</verse>
			</chapter>
		</book>
		<book number="62">
			<chapter number="1">
				<verse number="1">මූලාරම්භයේ පටන් වූ ජීවනයේ ධර්මයාණන් ගැන අපි ඔබට ලියමු. අපි උන් වහන්සේ කනින් ඇසීමු, අපේ ඇස්වලින් දුටිමු; දැක බලා, අපේ අත්වලින් ස්පර්ශ කෙළෙමු.</verse>
				<verse number="2">මේ ජීවනය දෘශ්‍යමාන විය. අපි එය දැක, ඒ ගැන සාක්ෂි දරමින්, පියාණන් වහන්සේ සමඟ වැඩවිසූ, අපට දෘශ්‍යමාන කරන ලද සදාතන ජීවනය ඔබට ප්‍රකාශ කරමු.</verse>
				<verse number="3">අප ඔබටත් ප්‍රකාශ කරන්නේ අප ඇසූ දුටු ඒ දේ ම ය. අප එසේ කරන්නේ, පියාණන් වහන්සේ ද උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ද සමඟ පවත්නා අපේ සහභාගිකමට ඔබත් පංගුකාර වන පිණිස ය.</verse>
				<verse number="4">තවද, අප මෙය ලියන්නේ අප හැමගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ය.</verse>
				<verse number="5">උන් වහන්සේගෙන් අප ඇසූ, ඔබට දන්වන පණිවුඩය මෙය වේ: දෙවියන් වහන්සේ ආලෝකය ය, උන් වහන්සේ තුළ කිසි ම අන්ධකාරයක් නැත.</verse>
				<verse number="6">එබැවින්, උන් වහන්සේ සමඟ අපි සහභාගිකම පවත්වන්නෙමු යි කියමින් අපි අන්ධකාරයෙහි හැසිරෙමු නම් අප කියන්නේ බොරුවකි. අප පිළිපදින්නේ සත්‍යය නොවේ.</verse>
				<verse number="7">එහෙත් උන් වහන්සේ ආලෝකයෙහි සිටින සේ ම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, එකිනෙකා සමඟ සහභාගිකම අපට ඇත. එවිට උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් වහන්සේගේ ලේ සියලු පව්වලින් අප පවිත්‍ර කරන්නේ ය.</verse>
				<verse number="8">අපට පාපයක් නැතැ යි කියමු නම්, අපි අප ම රවටාගනිමු; සත්‍යය ද අප තුළ නැත.</verse>
				<verse number="9">එහෙත් අපි පාපෝච්චාරණය කරමු නම්, විශ්වාසවන්ත වූ ද, ධර්මිෂ්ඨ වූ ද, දෙවියන් වහන්සේ සියලු පාපවලින් ද අදමිටුකම්වලින් ද අප පවිත්‍ර කරන සේක.</verse>
				<verse number="10">අපි පව් කර නැතැ යි කියමු නම්, අපි උන් වහන්සේ බොරුකාරයෙකු කරමු: උන් වහන්සේගේ වචනය ද අප තුළ නොපවතියි.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">මාගේ ප්‍රිය දරුවෙනි, මේ කාරණා මා ඔබට ලියා එවන්නේ, ඔබ පව් නොකරන පිණිස ය. එහෙත් යමෙකු පව් කළොත්, ධර්මිෂ්ඨ වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නම් මැදහත්කාරයාණන් කෙනෙක් අප වෙනුවෙන් පියාණන් වහන්සේ වෙත සිටින සේක.</verse>
				<verse number="2">අපේ පාපයෙන් මිදීමේ මිලය උන් වහන්සේ ය; එය අපේ පව් උදෙසා පමණක් නොව සකල ලෝකයාගේ ද පව් උදෙසා ය.</verse>
				<verse number="3">අපි උන් වහන්සේගේ ආඥා පිළිපදිමු නම්, එයින් අප උන් වහන්සේ දන්නා බව සහතික වේ.</verse>
				<verse number="4">“මම උන් වහන්සේ දනිමි”යි කියමින් උන් වහන්සේගේ ආඥා නොපිළිපදින තැනැත්තා බොරුකාරයෙකි; සත්‍යය ඔහු තුළ නැත.</verse>
				<verse number="5">එහෙත් යමෙක් උන් වහන්සේගේ දහම පිළිපදින්නේ ද, ඒකාන්තයෙන් ම ඔහු තුළ දෙවියන් වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණ වී ඇත. අප උන් වහන්සේ තුළ සිටින බව දැනගන්නේ මෙසේ ය:</verse>
				<verse number="6">උන් වහන්සේ තුළ ජීවත් වන්නේ යයි කියන තැනැත්තා, ක්‍රිස්තුන් වහන්සේ ජීවත් වුණාක් මෙන් ජීවත් විය යුතු ය.</verse>
				<verse number="7">ප්‍රේමවන්තයෙනි, මා ඔබ හට ලියා එවන්නේ අලුත් ආඥාවක් නොව, පටන්ගැන්මේ සිට ම ඔබ අතර තිබුණු පැරණි ආඥාව ය. ඒ පැරණි ආඥාව නම් ඔබ අසා ඇති පණිවුඩය ම ය.</verse>
				<verse number="8">කෙසේ වෙතත් මා ඔබ වෙත ලියා එවන මෙම ආඥාව අලුත් එකකි. එහි සත්‍යය ක්‍රිස්තුන් වහන්සේ තුළ ද ඔබ තුළ ද විද්‍යමාන වී ඇත. මන්ද, අන්ධකාරය පහ ව යන්නේ ය. සැබෑ ආලෝකය දැනටමත් බැබළෙන්නේ ය.</verse>
				<verse number="9">ආලෝකයෙහි පවතිමි යි කියමින් සිය සහෝදරයාට වෛර කරන්නා තවමත් අන්ධකාරයෙහි සිටියි.</verse>
				<verse number="10">සිය සහෝදරයාට ප්‍රේම කරන්නා ආලෝකයෙහි සිටියි. ඒ නිසා පැකිළී වැටීමට හේතුවක් ඔහුට නැත.</verse>
				<verse number="11">එහෙත් සිය සහෝදරයාට වෛර කරන්නා අන්ධකාරයෙහි හැසිරෙයි. අන්ධකාරයෙන් ඔහුගේ ඇස් අන්ධ වී තිබෙන බැවින්, තමා යන්නේ කොහේ දැ යි ඔහු නොදනියි.</verse>
				<verse number="12">මාගේ ප්‍රියාදර දරුවෙනි, මා ඔබට ලියන්නේ උන් වහන්සේගේ නාමය නිසා ඔබේ පව් කමා කර ඇති බැවිනි.</verse>
				<verse number="13">පියවරුනි, මා ඔබට ලියන්නේ, මූලාරම්භයේ සිට වැඩසිටින තැනැන් වහන්සේ ඔබ දන්නා බැවිනි. තරුණයිනි, මා ඔබට ලියන්නේ, ඔබ නපුරා දමනය කර ඇති බැවිනි.</verse>
				<verse number="14">දරුවෙනි, මා ඔබට ලියා එවූයේ, ඔබ පියාණන් වහන්සේ දන්නා බැවිනි. පියවරුනි, මා ඔබට ලියා එවූයේ, මූලාරම්භයේ සිට වැඩසිටින තැනැන් වහන්සේ ඔබ දන්නා බැවිනි. තරුණයෙනි, මා ඔබට ලියා එවූයේ, ඔබ ශක්තිමත් බැවිනුත්, දෙවියන් වහන්සේගේ වචනය ඔබ තුළ ඇති බැවිනුත්, ඔබ නපුරා දමනය කර ඇති බැවිනුත් ය.</verse>
				<verse number="15">මේ ලෝකයට වත්, එහි ඇති දේ වලට වත් ආලය නොකරන්න. යමෙක් ලෝකයට ආලය කරන්නේ ද, දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත.</verse>
				<verse number="16">මන්ද, ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, කාමරාගයත්, මාංසික තෘෂ්ණාවත්, අහංකාරකමත් ඇතිවන්නේ පියාණන් වහන්සේගෙන් නොව ලෝකයෙන් ය.</verse>
				<verse number="17">ලෝකයත් ලෝකානුරාගයත් පහ වී යන්නේ ය. එහෙත් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නා සදහට ම ජීවත් වන්නේ ය.</verse>
				<verse number="18">ප්‍රිය දරුවෙනි, අවසාන මොහොත පැමිණ ඇත. මේ කාලයේ දී ක්‍රිස්තු-විරෝධියා එන බව ඔබ අසා ඇත. දැනට ම බොහෝ ක්‍රිස්තු-විරෝධීහු පහළ වී සිටිති. මේ කරුණින් මෙය අන්තිම මොහොත බව අපට පෙනේ.</verse>
				<verse number="19">මේ ක්‍රිස්තු-විරෝධීන් අපෙන් වෙන් ව ගිය නමුත් අපට අයිති ව සිටියේ නැත. ඔවුන් අපට අයිති ව සිටියා නම්, අප සමඟ නැවතී සිටිනු ඇත. එහෙත් ඔවුන් වෙන් වී ගිය කරුණෙන් පෙනෙන්නේ ඔවුන්ගෙන් කිසිවෙකුවත් අපට සැබෑ ලෙස අයිති නුවූ බව ය.</verse>
				<verse number="20">එහෙත් ඔබ වනාහි ශුද්ධ තැනැන් වහන්සේගෙන් ආලේපය ලබා ඇත. එයින් ඔබ හැමට ප්‍රඥාව ලැබී ඇත.</verse>
				<verse number="21">මා ඔබට ලියා එවූයේ ඔබ සත්‍යය නොදන්නා නිසා නොව, එය දන්නා නිසාත්, සත්‍යයෙන් කිසි බොරුවක් හට නොගන්නා බව දන්නා නිසාත් ය.</verse>
				<verse number="22">බොරුකාරයා කවරෙක් ද? ඔහු අන් කිසිවෙකු නොව, ජේසුස් වහන්සේ ක්‍රිස්තුස් නොවේ යයි කියන තැනැත්තා ය. ක්‍රිස්තු-විරෝධියාත් ඔහු ම ය. ඔහු පියාණන් වහන්සේත් පුත්‍රයාණන් වහන්සේත් ප්‍රතික්ෂේප කරන්නේ ය.</verse>
				<verse number="23">යමෙක් පුත්‍රයාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ ද, ඔහු පියාණන් වහන්සේත් ප්‍රතික්ෂේප කරයි; යමෙක් පුත්‍රයාණන් වහන්සේ පිළිගන්නේ ද, ඔහු පියාණන් වහන්සේත් පිළිගන්නේ ය.</verse>
				<verse number="24">ඔබ මුල සිට ම ඇසූ දේ සිතෙහි නිදන් කරගන්න. මුල සිට ම ඔබ ඇසූ දේ ඔබ තුළ පවතී නම් ඔබ පුත්‍රයාණන් වහන්සේ තුළත්, පියාණන් වහන්සේ තුළත් ජීවමාන ව සිටින්නහු ය.</verse>
				<verse number="25">උන් වහන්සේ අපට දුන් පොරොන්දුව නම් මේ සදාතන ජීවනය ය.</verse>
				<verse number="26">මා මේ කාරණා ඔබට ලිව්වේ ඔබ මුළා කරන්නට උත්සාහ කරන අය සම්බන්ධයෙන් ය.</verse>
				<verse number="27">උන් වහන්සේගෙන් ලැබූ ආලේපය ඔබ තුළ පවතින හෙයින් ඔබට ඉගැන්වීමට අන් කිසිවෙක් වුවමනා නැත. උන් වහන්සේගේ ඒ ආලේපය ඔබට සියල්ල උගන්වනු ඇත. එය සත්‍යම ය; අසත්‍යයක් නොවේ. ඒ ආලේපය ඔබට ඉගැන්වූ පරිදි, උන් වහන්සේ තුළ පැවතී සිටින්න.</verse>
				<verse number="28">ඉතින් මාගේ ප්‍රිය දරුවෙනි, උන් වහන්සේ තුළ පවතින්න. එසේ කළ යුත්තේ උන් වහන්සේ ප්‍රකාශ වූ විට ඔබ නිසැක ව සිටින පිණිසත්, උන් වහන්සේගේ ආගමනයේ දී ඔබ උන් වහන්සේ ඉදිරියේ ලජ්ජා රහිත ව සිටින පිණිසත් ය.</verse>
				<verse number="29">උන් වහන්සේ ධර්මිෂ්ඨ බව ඔබ දන්නහු නම්, දමිටුකම් කරන සියල්ලන් උන් වහන්සේගෙන් උපත ලබා සිටින බව ඔබට තේරුම් යනු ඇත.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">බලන්න, පියාණන් වහන්සේ අපට කෙතරම් ප්‍රේම කර ඇද් ද? අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි කියන තරමට උන් වහන්සේ අපට ප්‍රේම කළ සේක. ඇත්තෙන් ම අපි උන් වහන්සේගේ දරුවෝ ම ය. ලෝකයා දෙවියන් වහන්සේ නොහඳුනන බැවින්, ඔව්හු අප ද නොහඳුනති.</verse>
				<verse number="2">ප්‍රේමවන්තයෙනි, අපි දැනට ම දෙවියන් වහන්සේගේ දරුවෝ ය. එහෙත් අනාගතයේ දී අපි කොයි ආකාර අය වන්නෙමු දැ යි තව ම ප්‍රකාශ වී නැත. කෙසේ වෙතත් උන් වහන්සේ ප්‍රකාශ වන විට අපි උන් වහන්සේට සමාන වන බව දනිමු. මන්ද, උන් වහන්සේගේ ප්‍රකෘති ස්වභාවයෙහි ම අපි උන් වහන්සේ දකින්නෙමු.</verse>
				<verse number="3">උන් වහන්සේ පිළිබඳ මේ බලාපොරොත්තුව ඇති හැම කෙනෙක් ම, උන් වහන්සේ පිරිසිදු ව සිටින්නාක් මෙන්, තමන් ද පිරිසිදු කරගනිති.</verse>
				<verse number="4">පව් කරන සෑම දෙන ම දේව නීතිය කඩ කරති. පාපය නම් දේව නීතිය කඩ කිරීම ය.</verse>
				<verse number="5">ක්‍රිස්තුන් වහන්සේ පැමිණියේ පව් දුරු කරන පිණිස බව ඔබ දන්නහු ය. උන් වහන්සේ තුළ පාපයක් නැත.</verse>
				<verse number="6">යමෙක් උන් වහන්සේ තුළ ජීවත් වන්නේ ද ඔහු පව් නොකරයි. පව් කරන කිසිවෙක් උන් වහන්සේ දුටුවේ වත්, උන් වහන්සේ අඳුනන්නේ වත් නැත.</verse>
				<verse number="7">මාගේ ප්‍රිය දරුවෙනි, ඔබ මුළා කරන්නට කිසිවෙකුට ඉඩ නොදෙන්න. උන් වහන්සේ ධර්මිෂ්ඨ ව සිටින්නාක් මෙන්, දමිටුකම් කරන්නා දමිටු ව සිටියි.</verse>
				<verse number="8">පව් කරන තැනැත්තා යක්ෂයාට අයිති ය. මන්ද, පටන්ගැන්මේ සිට ම යක්ෂයා පව් කර ඇත. දෙවියන් වහන්සේගේ පුත්‍රයා ප්‍රකාශ වූයේ යක්ෂයාගේ ක්‍රියා විනාශ කිරීම පිණිස ය.</verse>
				<verse number="9">දෙවියන් වහන්සේගෙන් උපත ලැබූ කිසිවෙක් පව් නොකරති. මන්ද, උන් වහන්සේගේ ජීවය ඔහු තුළ පවතියි. ඔහු දෙවියන් වහන්සේගෙන් උපත ලැබ සිටින බැවින් ඔහුට පව් කළ නොහැකි ය.</verse>
				<verse number="10">දෙවියන් වහන්සේගේ දරුවන් ද යක්ෂයාගේ දරුවන් ද හඳුනාගත හැක්කේ මෙසේ ය: යුතු දේ නොකරන, තම සහෝදරයාට ප්‍රේම නොකරන, කිසිවෙක් දෙවියන් වහන්සේගේ දරුවෝ නොවෙති.</verse>
				<verse number="11">පටන්ගැන්මේ සිට ඔබ ඇසූ පණිවුඩය නම්, අප එකිනෙකාට ප්‍රේම කළ යුතු ය යනු යි.</verse>
				<verse number="12">සිය සහෝදරයා මැරූ, නපුරාට අයිති වූ කායින් මෙන් අප නොවිය යුතු ය. කායින් සිය සහෝදරයා මැරුවේ මන් ද? තමාගේ ක්‍රියා නපුරු ව ද සහෝදරයාගේ ක්‍රියා යහපත් ව ද තිබුණු බැවිනි.</verse>
				<verse number="13">සහෝදරයෙනි, ලෝකයා ඔබට වෛර කරන්නේ නම් පුදුම නොවන්න.</verse>
				<verse number="14">අපි සහෝදරයන්ට ප්‍රේම කරන බැවින් මරණයෙන් ජීවනයට පැමිණ සිටින බව දනිමු. ප්‍රේම නොකරන්නා මරණයෙහි පවතියි.</verse>
				<verse number="15">තම සහෝදරයාට වෛර කරන කවරෙක් නමුත් මිනී මරන්නෙකි. කිසි මිනී මරන්නෙකු තුළ සදාතන ජීවනය නොමැති බව ඔබ දන්නහු ය.</verse>
				<verse number="16">ප්‍රේමය යනු කිමෙක් දැ යි අප දන්නේ, ක්‍රිස්තුන් වහන්සේ සිය ජීවිතය අප උදෙසා පරිත්‍යාග කළ බැවිනි. අප ද, සහෝදරයන් උදෙසා අපේ ජීවිත පරිත්‍යාග කළ යුතු ය.</verse>
				<verse number="17">ලෞකික සම්පත් ඇති කෙනෙක්, තම සහෝදරයාගේ අගහිඟකම දැක දැකත්, ඔහුට අනුකම්පා නොකරත් නම්, දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේ ද?</verse>
				<verse number="18">මාගේ ප්‍රිය දරුවෙනි, අපගේ ප්‍රේමය වචනයෙන් වත්, කතාවෙන් වත් නොව, ක්‍රියාවෙන් ප්‍රකාශ වන සත්‍ය ප්‍රේමයක් විය යුතු ය.</verse>
				<verse number="19">අප සත්‍යයේ පිහිටා සිටින බව දන්නේත්, ඒ ගැන දෙවියන් වහන්සේ ඉදිරියේ අපේ සිතේ සහතිකයක් අපට ඇති විය හැක්කේත් මෙසේ ය:</verse>
				<verse number="20">අපේ සිත අපට දෝෂාරෝපණය කරයි නම්, දෙවියන් වහන්සේ අපේ සිතට වඩා උතුම් බවත්, උන් වහන්සේ සියල්ල දන්නා බවත් අපි දනිමු.</verse>
				<verse number="21">ප්‍රේමවන්තයෙනි, අපේ සිත අපට දෝෂාරෝපණය නොකරයි නම්, දෙවියන් වහන්සේ ඉදිරියේ අපට බියවීමට කරුණක් නැත.</verse>
				<verse number="22">තවද, අපි උන් වහන්සේගේ ආඥා පිළිපදින නිසා ද, උන් වහන්සේට ප්‍රියමනාප දේ කරන නිසා ද, උන් වහන්සේගෙන් ඉල්ලන සියල්ල ලබමු.</verse>
				<verse number="23">උන් වහන්සේගේ ආඥාව නම්, උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඇදහීමත්, උන් වහන්සේ අපට අණ කළ ලෙස එකිනෙකාට ප්‍රේම කිරීමත් ය.</verse>
				<verse number="24">උන් වහන්සේගේ ආඥා පිළිපදින්නා, උන් වහන්සේ තුළ වෙසෙයි; උන් වහන්සේ ද ඔහු තුළ වැඩවසන සේක. උන් වහන්සේ අප තුළ වැඩවසන බව අප දන්නේ උන් වහන්සේ අපට දුන් ශුද්ධාත්මයාණන් කරණකොටගෙන ය.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">ප්‍රේමවන්තයෙනි, තමන්ට ආත්මයාණන් ඇතැ යි කියන හැම කෙනෙකු ම විශ්වාස නොකොට, ඔවුන්ට ආත්මයාණන් ලැබී ඇත්තේ දෙවියන් වහන්සේගෙන් දැ යි පරීක්ෂා කර බලන්න. එසේ කියන්නේ, බොරු දිවැසිවරුන් බොහෝ දෙනෙකු ලෝකයේ විසිර ගොස් සිටින නිසා ය.</verse>
				<verse number="2">ඔබ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ දැනගන්නේ මෙසේ ය: ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මිනිස්බව ගෙන වැඩම කළ බව ඒත්තු ගන්නාවූ සියලු දෙනා දෙවියන් වහන්සේගෙන් ය.</verse>
				<verse number="3">එසේ ජේසුස් වහන්සේ ඒත්තු නොගන්නා වූ සියලු දෙනා දෙවියන් වහන්සේගෙන් නොවෙති. මේ ක්‍රිස්තු-විරෝධියාගේ ක්‍රියා ය. ඔහු එන බව ඔබ අසා ඇත. දැනටමත් ඔහු ලෝකයෙහි සිටියි.</verse>
				<verse number="4">ප්‍රිය දරුවෙනි, ඔබ දෙවියන් වහන්සේට අයිති වෙමින් බොරු දිවැසිවරුන් පරාජය කර ඇත. මන්ද, ඔබ තුළ වැඩවසන දෙවියන් වහන්සේ ලෝකයේ සිටින ක්‍රිස්තු-විරෝධියාට වඩා උතුම් ය.</verse>
				<verse number="5">ඒ බොරු දිවැසිවරු ලෝකයට අයිති ය; ඔව්හු ලෝක ව්‍යවහාරය අනුව කතා කරති. එබැවින් ලෝකයා ඔවුන්ට සවන් දෙති.</verse>
				<verse number="6">අප දෙවියන් වහන්සේට අයිති ය. දෙවියන් වහන්සේ අඳුනන තැනැත්තා අපට සවන් දෙයි. දෙවියන් වහන්සේට අයිති නොවන්නා අපට සවන් නොදෙයි. සත්‍යයත් අසත්‍යයත් අපට හඳුනාගත හැක්කේ මේ ලෙසිනි.</verse>
				<verse number="7">ප්‍රේමවන්තයෙනි, අපි එකිනෙකාට ප්‍රේම කරමු. මන්ද, ප්‍රේමය දෙවියන් වහන්සේගෙන් ය. ප්‍රේම කරන සෑම දෙන ම දෙවියන් වහන්සේගෙන් උපත ලබා සිටින බැවින් උන් වහන්සේ අඳුනති.</verse>
				<verse number="8">ප්‍රේම නොකරන්නා දෙවියන් වහන්සේ නාඳුනයි. මන්ද, දෙවියන් වහන්සේ ප්‍රේමය ය.</verse>
				<verse number="9">අප කෙරෙහි දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කරනු ලැබුවේ දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන්, අප උන් වහන්සේ කරණකොටගෙන ජීවත් වන පිණිස, ලෝකයට එවා වදාළ කාරණයෙන් ය.</verse>
				<verse number="10">ප්‍රේමය යන්නෙන් මා අදහස් කරන්නේ අප දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම නොව, උන් වහන්සේ අපට ප්‍රේම කර සිය පුත්‍රයාණන් අපේ පාපයෙන් මිදීමේ මිලය වශයෙන් එවීම ය.</verse>
				<verse number="11">ප්‍රේමවන්තයෙනි, දෙවියන් වහන්සේ අපට මෙසේ ප්‍රේම කළ සේක් නම්, අපත් එකිනෙකාට ප්‍රේම කළ යුතු ය.</verse>
				<verse number="12">කිසිවෙකු කිසි කලෙක දෙවියන් වහන්සේ දුටුවේ නැත. එහෙත්, අපි එකිනෙකාට ප්‍රේම කරමු නම්, දෙවියන් වහන්සේ අප තුළ වැඩවසන සේක. උන් වහන්සේගේ ප්‍රේමය ද අප තුළ පරිපූර්ණ වන්නේ ය.</verse>
				<verse number="13">අප උන් වහන්සේ තුළ ද, උන් වහන්සේ අප තුළ ද සිටින බව අප දන්නේ, උන් වහන්සේ සිය ආත්මයාණන් වහන්සේ අපට ප්‍රදානය කර ඇති බැවිනි.</verse>
				<verse number="14">තවද, පියාණන් වහන්සේ තමන් පුත්‍රයාණන් ලෝකයාගේ ගැළවුම්කාරයාණන් වන පිණිස එවා වදාළ බව අපි දුටිමු. ඊට සාක්ෂි දරමු.</verse>
				<verse number="15">යමෙක් ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් බව අදහාගනිමින් ප්‍රකාශ කරන්නේ ද, දෙවියන් වහන්සේ ඔහු තුළත්, ඔහු දෙවියන් වහන්සේ තුළත් වාසය කරති.</verse>
				<verse number="16">මෙසේ අප කෙරෙහි ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය දැන හැඳින අපි එය විශ්වාස කර සිටිමු. දෙවියන් වහන්සේ ප්‍රේමය ය. ප්‍රේමයෙහි ජීවත් වන්නා උන් වහන්සේ තුළ ජීවත් වෙයි. දෙවියන් වහන්සේ ද ඔහු තුළ ජීවත් වන සේක.</verse>
				<verse number="17">ප්‍රේමය අප තුළ පරිපූර්ණ වූ කල, විනිශ්චය දවසේ දී අපට නිසැකකම ඇති වේ. මන්ද ක්‍රිස්තුන් වහන්සේ මෙලොව ජීවත් ව සිටින සේ ම අපිත් ජීවත් වෙමු.</verse>
				<verse number="18">ප්‍රේමයෙහි බියක් ඇති නොවේ. ප්‍රේමය බිය දුරු කරයි. බිය වීම දඬුවම් ලැබීමට සම්බන්ධ බැවින්, බිය වන්නා ප්‍රේමයෙහි පරිපූර්ණ වී නැත.</verse>
				<verse number="19">අප ප්‍රේම කරන්නේ උන් වහන්සේ පළමුකොට අපට ප්‍රේම කළ බැවිනි.</verse>
				<verse number="20">යමෙක් “මම දෙවියන් වහන්සේට ප්‍රේම කරමි”යි කියමින්, තම සහෝදරයාට වෛර කරයි නම්, ඔහු බොරුකාරයෙකි. පෙනෙන සහෝදරයාට ප්‍රේම නොකරන්නාට, නොපෙනෙන දෙවියන් වහන්සේට ප්‍රේම කළ නොහැකි ය.</verse>
				<verse number="21">දෙවියන් වහන්සේට ප්‍රේම කරන තැනැත්තා තම සහෝදරයාටත් ප්‍රේම කළ යුතු ය යන ආඥාව අපි උන් වහන්සේගෙන් ලැබීමු.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">ජේසුස් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ බව අදහන කවරෙක් නමුත් දෙවියන් වහන්සේගේ දරුවෙකි. පිය කෙනෙකුට ප්‍රේම කරන්නා ඔහුගෙන් උපන් පුත්‍රයාටත් ප්‍රේම කරයි.</verse>
				<verse number="2">දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමෙන් ද, උන් වහන්සේගේ ආඥා පිළිපැදීමෙන් ද අපි උන් වහන්සේගේ දරුවන්ට ප්‍රේම කරන බව දැනගනිමු.</verse>
				<verse number="3">දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම යනු උන් වහන්සේගේ ආඥා පිළිපැදීම යි. උන් වහන්සේගේ ආඥා පිළිපැදීම දුෂ්කර නොවේ.</verse>
				<verse number="4">මන්ද, දෙවියන් වහන්සේගෙන් උපන් හැම කෙනෙකු ම ලෝකයෙන් ජයගෙන ඇත. ලෝකය පරදවන වික්‍රමය නම් ඇදහිල්ල යි.</verse>
				<verse number="5">ලෝකයෙන් ජයගත හැක්කේ, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් යයි අදහන තැනැත්තාට මිස අන් කවරෙකුට ද?</verse>
				<verse number="6">ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ, වතුර හා රුධිරය කරණකොටගෙන පැමිණි තැනැන් වහන්සේ ය. එසේ පැමිණියේ වතුර පමණක් නොව වතුරත් රුධිරයත් ඇතිව ය. මෙය සත්‍ය බවට ආත්මයාණන් වහන්සේ සාක්ෂි දරන සේක. මන්ද, ආත්මයාණන් වහන්සේ සත්‍යය වන බැවිනි.</verse>
				<verse number="7">එබැවින් සාක්ෂි තුනක් ඇත:</verse>
				<verse number="8">ආත්මයාණන් වහන්සේ, වතුර හා රුධිරය යන මේ තුන ය. මේ සාක්ෂි තුන අතරේ එකඟත්වයක් ඇත.</verse>
				<verse number="9">අපි මනුෂ්‍යයන්ගේ සාක්ෂිය පිළිගනිමු. එහෙත් දෙවියන් වහන්සේගේ සාක්ෂිය ඊට වඩා බලගතු ය. දෙවියන් වහන්සේගේ ම සාක්ෂිය නම්, සිය පුත්‍රයාණන් පිළිබඳ ව දුන් සාක්ෂිය වේ.</verse>
				<verse number="10">දෙවියන් වහන්සේගේ පුත්‍රයා අදහාගන්නාට තමා තුළ ම සාක්ෂිය ඇත. දෙවියන් වහන්සේ අදහානොගන්නා, උන් වහන්සේ තමන් පුත්‍රයාණන් පිළිබඳ ව දී ඇති සාක්ෂි විශ්වාස නොකරන බැවින්, උන් වහන්සේ බොරුකාරයෙකු කරයි.</verse>
				<verse number="11">ඒ සාක්ෂිය නම්, දෙවියන් වහන්සේ අපට සදාතන ජීවනය දුන් බවත්, ඒ ජීවනය තම පුත්‍රයාණන් තුළ ඇති බවත් ය.</verse>
				<verse number="12">පුත්‍රයාණන් වහන්සේ පිළිගත් තැනැත්තාට මේ ජීවනය ඇත. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් නොපිළිගත් තැනැත්තාට ඒ ජීවනය නැත.</verse>
				<verse number="13">මෙය මා ඔබ වෙත ලියා එවන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් අදහන ඔබ හැමට සදාතන ජීවනය ඇති බව ඔබ නිසැක ව දැනගන්නා පිණිස ය.</verse>
				<verse number="14">උන් වහන්සේ ඉදිරියෙහි අපට තිබෙන නිසැකකම නම්, අප උන් වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත්, උන් වහන්සේ අපේ ඉල්ලීම අසන බව ය.</verse>
				<verse number="15">ඒ ඉල්ලීමට උන් වහන්සේ සවන් දෙන බව අපි දනිමු නම්, අප උන් වහන්සේගෙන් ඉල්ලන දේ අපට ලැබෙන බව අපි දනිමු.</verse>
				<verse number="16">යමෙකු තම සහෝදරයා මරණීය නොවන පාපයක් කරන බව දුටුවොත්, ඔහු යාච්ඤා කෙරේ වා! එවිට, එය මරණයට නොපමුණුවන පාපයක් නම්, දෙවියන් වහන්සේ ඔහුට ජීවනය දෙන සේක. මරණයට පමුණුවන පාපයක් ඇත්තේ ය. ඒ ගැන ඔබ යාච්ඤා කළ යුතු යයි මම නොකියමි.</verse>
				<verse number="17">සියලු අදමිටුකම් පව් ය. එහෙත් සියලු ම පාප මරණයට පමුණුවන පව් නොවේ.</verse>
				<verse number="18">දෙවියන් වහන්සේගෙන් උපත ලැබූ කිසිවෙකු පාපයෙහි නිරත ව නොසිටින බව අපි දනිමු. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ඔහු රක්ෂා කරන සේක. ඔහුට හානියක් කරන්නට නපුරාට බැරි ය.</verse>
				<verse number="19">අප දෙවියන් වහන්සේට අයිති බවත්, මුළු ලෝකය නපුරාට යටත් බවත් දනිමු.</verse>
				<verse number="20">තවද, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් පැමිණ, සැබෑ දෙවියන් දැනගැනීමට ප්‍රඥාව අපට දුන් බව අපි දනිමු. ඇත්තෙන් ම අප සැබෑ දෙවියන් තුළ, එනම්, උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළ ජීවත් වෙමු. ක්‍රිස්තුන් වහන්සේ සැබෑ වූ දෙවියන් ද සදාතන ජීවනය ද වන සේක.</verse>
				<verse number="21">මාගේ ප්‍රිය දරුවෙනි, බොරු දෙවිවරුන්ගෙන් පරිස්සම් වී සිටින්න.</verse>
			</chapter>
		</book>
		<book number="63">
			<chapter number="1">
				<verse number="1">සභා මූලිකයෙකු වන මම, මා සැබෑ ලෙස ප්‍රේම කරන දෙවියන් වහන්සේ තෝරාගත් මාතාවත් ඇගේ දරුවනුත් වෙත මෙය ලියා එවමි. මා පමණක් නොව, සත්‍යය දන්නා සැම දෙන ම ඔබට ප්‍රේම කරති.</verse>
				<verse number="2">එසේ කරන්නේ අප තුළ ඇති සදහට ම පවතින සත්‍යය නිසා ය.</verse>
				<verse number="3">දෙවි පියාණන් වහන්සේගෙන් ද, පියාණන්ගේ පුතුනුවන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද කරුණාවත්, දයාවත්, සාමයත්, සත්‍යතාවයෙන් හා ප්‍රේමයෙන් අප සමඟ වේ වා!</verse>
				<verse number="4">පියාණන් වහන්සේගෙන් අප ලැබූ ආඥාව පරිදි, ඔබගේ දරුවන්ගෙන් සමහර දෙනෙකු සත්‍යය අනුව ජීවත් වනු දැක ඉතා ප්‍රීති වීමි.</verse>
				<verse number="5">එබැවින් මාතාවෙනි, අපි එකිනෙකාට ප්‍රේම කරමු. මේ වනාහි ඔබට ලියන අලුත් ආඥාවක් නොව, පටන්ගැන්මේ සිට ම අපට තිබුණු ආඥාව ම ය.</verse>
				<verse number="6">මේ ප්‍රේමය නම්, උන් වහන්සේගේ ආඥා අනුව ජීවත් වීම ය. ආඥාව නම්, පටන්ගැන්මේ සිට ඔබ ඇසූ ලෙස ප්‍රේමයෙන් ජීවත් වීම ය.</verse>
				<verse number="7">ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මනුෂ්‍යයෙකු වූ බව නොපිළිගන්නා බොහෝ රැවටිලිකාරයෝ ලොව පුරා විසිර ගොස් සිටිති. මොවුහු රැවටිලිකාරයෝ ය, ක්‍රිස්තු-විරෝධියෝ ය.</verse>
				<verse number="8">ඔබ උදෙසා අප කළ දේ නැති නොවන පිණිසත්, සම්පූර්ණ විපාකයක් ඔබට ලැබෙන පිණිසත් ඔවුන්ගෙන් ප්‍රවේසම් වන්න.</verse>
				<verse number="9">ක්‍රිස්තුන් වහන්සේගේ ධර්මයෙහි නොපැවතී, එයින් පිට පැන යන්නා, දෙවියන් වහන්සේ නැති ව ජීවත් වන්නෙකි. ඒ ධර්මයෙහි පවතින්නා පියාණන් වහන්සේ ද පුත්‍රයාණන් වහන්සේ ද ඇති ව ජීවත් වන්නෙකි.</verse>
				<verse number="10">ඔබ වෙත පැමිණෙන යමෙක් මේ ධර්මය රැගෙන නොඑන්නේ නම්, ඔහු ගෙදරට නොපිළිගන්න, ඔහුට ආචාර ද නොකරන්න.</verse>
				<verse number="11">මන්ද, ඔහුට ආචාර කරන්නා ඔහුගේ නපුරු ක්‍රියාවලට පංගුකාරයෙක් වන්නේ ය.</verse>
				<verse number="12">ඔබ වෙත ලියා එවන්නට මට බොහෝ කාරණා ඇත. ඒවා කඩදාසියක තීන්තෙන් ලිවීමට වඩා, අපේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ඔබ මුණගැසී කතා කිරීමට මම බලාපොරොත්තු වෙමි.</verse>
				<verse number="13">ඔබ තෝරාගත් සොහොයුරියගේ දරුවෝ ඔබට ආචාර කරති.</verse>
			</chapter>
		</book>
		<book number="64">
			<chapter number="1">
				<verse number="1">සභා මූලිකයෙකු වන මම, මා සැබෑ ලෙස ප්‍රේම කරන ප්‍රියාදර ගායස්ට මෙය ලියා එවමි.</verse>
				<verse number="2">මාගේ හිත මිතුර, ඔබ ආධ්‍යාත්මික ලෙස යහතින් සිටින්නාක් මෙන් සියල්ලේ දී යහතින් සිටින ලෙස ද, නිදුක් නීරෝගී ව සිටින ලෙස ද යාච්ඤා කරමි.</verse>
				<verse number="3">සැබැවින් ම ඔබේ කල්ක්‍රියාව සත්‍යයට අනුකූල බැවින් ඔබ සත්‍යයෙහි ස්ථීර ව සිටින බවට සහෝදරයන් ඇවිත් සාක්ෂි දුන් විට, මම අතිශයින් ප්‍රීති වීමි. සැබැවින් ම ඔබේ කල්ක්‍රියාව සත්‍යයට අනුකූල ය.</verse>
				<verse number="4">මාගේ දරුවන් සත්‍යය අනුව ජීවත් වන බව ඇසීමට වඩා ලොකු ප්‍රීතියක් මට නැත.</verse>
				<verse number="5">මාගේ හිත මිතුර, මේ සහෝදරයන් අමුත්තන් වුව ද ඔවුන්ට ඔබ කළ හැම සත්කාරයකින් ම ඔබේ විශ්වාසවන්තකම පෙනේ.</verse>
				<verse number="6">ඔව්හු ඔබේ මේ ප්‍රේමය ගැන සභාව ඉදිරිපිට සාක්ෂි දැරූහ. ඔවුන්ගේ ගමනේ දී අප සේවය කරන දෙවියන් වහන්සේට ප්‍රසන්න වන ලෙස ඔවුන්ට උපකාර කරන්න.</verse>
				<verse number="7">මන්ද, උන් වහන්සේගේ නාමය උදෙසා පිටත් ව ගිය ඔව්හු විජාතීන්ගෙන් කිසි උපකාරයක් භාර නොගත්හ.</verse>
				<verse number="8">අප සත්‍යයෙහි හවුල් සේවකයන් වන පිණිස එබඳු අයට අපේ සහාය දිය යුතු ය.</verse>
				<verse number="9">මම සභාවට ලිපියක් ලීවෙමි. එහෙත් සභාවේ නායකත්වය පතන දියොත්‍රෙපස් මට කිසිසේත් සවන් නොදෙයි.</verse>
				<verse number="10">එබැවින් මම ආවොත් ඔහු කරන ක්‍රියා සිහි කර දෙන්නෙමි. ඔහු අපට විරුද්ධ ව දුෂ්ට චෝදනා ඉදිරිපත් කරයි. ඔහු එයිනුත් සෑහීමට නොපැමිණ, අපේ සහෝදරයන් පිළිගැනීමෙන් ද වැළකී සිටියි. එපමණක් නොව, පිළිගන්නට කැමැති අයටත් ඉඩ නොදී ඔවුන් සභාවෙන් නෙරපාදමයි.</verse>
				<verse number="11">ප්‍රේමවන්තයෙනි, නපුර නොව යහපත ආදර්ශ කරගන්න. යහපත කරන්නා දෙවියන් වහන්සේගේ දරුවෙකි; නපුර කරන්නා දෙවියන් වහන්සේ නුදුටුවෙකි.</verse>
				<verse number="12">දෙමෙත්‍රියස් ගැන සියල්ලෝ ම හොඳ කියති. සත්‍යයත් ඔහුට සාක්ෂි දරයි. මමත් එසේ ම සාක්ෂි දරමි. අපේ සාක්ෂිය සැබෑ බව ඔබ දන්නහු ය.</verse>
				<verse number="13">ඔබට බොහෝ දේ ලියන්නට මට ඇත. ඒවා ගැන පෑනෙන් හා තීන්තෙන් ලියා එවන්නට මම නොකැමැත්තෙමි.</verse>
				<verse number="14">ඉක්මනින් ඔබ දකින්නට මා බලාපොරොත්තු වන බැවින්, අප මුණගැසුණ විට ඒ ගැන සාකච්ඡා කළ හැකි ය.</verse>
				<verse number="15">ඔබට සාමදානය වේ වා! අපේ මිත්‍රයෝ ඔබට ආචාර කරති. අපේ මිත්‍රයන්ට ඔවුන්ගේ නම් කියා ආචාර කරන්න.</verse>
			</chapter>
		</book>
		<book number="65">
			<chapter number="1">
				<verse number="1">මේ හසුන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයෙකු ද, ජාකොබ්ගේ සහෝදරයා ද වන ජූද්ගෙනි. මෙය ලියා එවන්නේ, දෙවි පියාණන් වහන්සේ ප්‍රේම කරන, උන් වහන්සේ කැඳවා වදාළ, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ආරක්ෂාවෙහි පවතින අය වෙතට ය.</verse>
				<verse number="2">කරුණාවත්, සාමයත්, ප්‍රේමයත් ඉතා බහුල ලෙස ඔබට වේ වා!</verse>
				<verse number="3">ප්‍රේමවන්තයෙනි, අපගේ පොදු ගැළවීම ගැන ඔබ වෙත ලියා එවීමට බොහෝ ප්‍රයත්න දැරුවෙමි. එහෙත් සදහට ම එක වරක් සැදැහැවතුන්ට බාර දුන් ඇදහිල්ල උදෙසා උද්‍යෝගිමත් ව සටන් කරන ලෙස අවවාද කරමින් ඔබ වෙත ලියා එවීම මට අවශ්‍ය වී ඇත.</verse>
				<verse number="4">මන්ද, බොහෝ කලකට පෙර දඬුවමට නියම කරනු ලැබූ, අභක්තික මිනිසුන් සමහර දෙනෙක්, ඔබ නොදැනුවත් ව ම ඔබට නොදැනෙන පරිද්දෙන් ඔබ අතරට රිංගාගෙන සිටිති. මොවුහු අපගේ දෙවියන් වහන්සේගේ කරුණාව, අවකල්ක්‍රියාවට මඟක් කරගනිමින්, අපගේ එක ම අධිපතියාණන් ද ස්වාමීන් ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ප්‍රතික්ෂේප කරති.</verse>
				<verse number="5">සමිඳාණන් වහන්සේ මිසර දේශයෙන් ඉශ්රායෙල් සෙනඟ මුදා ගෙනැවිත්, ඉන්පසු විශ්වාස නොකළවුන් විනාශ කළ සේක, යන මේ සියල්ල ඔබ දැනගෙන සිටින නමුත්, මම එය යළිත් ඔබට සිහි කර දෙන්නට කැමැත්තෙමි.</verse>
				<verse number="6">තමන් සතු ආධිපත්‍යයෙහි නොසිට ස්වකීය වාසභවනය අත්හැර ගිය දේව දූතයන්, උන් වහන්සේ මහා දවසේ විනිශ්චය පිණිස අන්ධකාරයට යට කොට, සදාකාල යදම්වලින් බැඳ තැබූ බවත් සිහි කරන්න.</verse>
				<verse number="7">තවද සොදොම් හා ගොමොරා ද, අවට පිහිටි නගර ද සිහි කරන්න. එහි වැසියෝ ඒ දේව දූතයන් මෙන් ම අවකල්ක්‍රියා ද අස්වාභාවික දූෂ්‍යකම් ද කරමින් සදාතන ගින්නේ දඬුවම වින්දෝ ය. එය සියල්ලන්ට ම අනතුරු ඇඟවීමේ ලකුණකි.</verse>
				<verse number="8">එමෙන් ම මොවුහු තමන් දකින සිහින කරණකොටගෙන ශරීරය කිලුටු කරගනිති, දේවාධිපත්‍යය හෙළා දකිති, සුරලොව වාසීන්ට නින්දා කරති.</verse>
				<verse number="9">එහෙත්, අග්‍ර දූත මිකායෙල් වුව ද, මෝසෙස්ගේ මළසිරුර පිළිබඳ ආරාවුලේ දී යක්ෂයා සමඟ වාද විවාද කරන අතර, ඔහුට විරුද්ධ ව දරුණු විනිශ්චයක් කිරීමට බිය විය. ඔහු කීවේ, “දෙවියන් වහන්සේ ඔබට තරවටු කරන සේක් වා” යන්න පමණකි.</verse>
				<verse number="10">එහෙත් මොවුහු තමන්ට නොතේරෙන කොයි දේටත් නින්දා කරති. සිහි කල්පනා නැති තිරිසනුන් මෙන් ඔවුන්ට සහජයෙන් ම තේරුම් යන දේ ඔවුන්ගේ විනාශයට හේතුවේ.</verse>
				<verse number="11">අහෝ, ඔවුන්ට වන විපතක මහත! ඔව්හු කායින් ගිය මාර්ගයෙහි ම ගමන් කළහ; බාලාම් කළාක් මෙන්, මුදලට ආශාවෙන් වරදට වැටුණහ; කෝරා මෙන් කැරලි ගසා විනාශ වූ හ.</verse>
				<verse number="12">ඔව්හු ඔබගේ ප්‍රේම මංගල්‍ය වලට අශෝභන කැළලකි; විළිබිය නැති ව කෑම්බීම්වල යෙදී තමන් ම පෝෂණය කරගන්න එඬේරුන් වැනි ය; සුළඟින් ගසාගෙන යන වතුර නැති වලාකුළු වැනි ය; මුලින් උදුරා දැමූ, වියළී මැරී ගිය, පල නැති, සරත් කාලයේ ගස් වැනි ය.</verse>
				<verse number="13">ඔව්හු, ස්වකීය නින්දාව නමැති පෙණ දමන මුහුදේ, රෞද්‍ර තරංග වැනි ය; ඒ මේ අත දුවන තාරකා වැනි ය. තික්ත කළුවර තැනක් ඔවුන්ට සදහට ම නියම කොට ඇත.</verse>
				<verse number="14">ආදම්ගේ පෙළපතෙහි සත්වැන්නා වූ ඒනොක් මොවුන් ගැන දිවැස් වැකි පවසමින්: “බලන්න, සමිඳාණන් වහන්සේ දස දහසක් ගණන් ස්වකීය ශුද්ධ දූතයන් සමඟ වැඩම කළ සේක.</verse>
				<verse number="15">එසේ කෙළේ, සියල්ලන් විනිශ්චය කරන පිණිසත්, සියලු අභක්තිකයන් විසින් කරන ලද අභක්තික ක්‍රියා ගැන ද, අභක්තික පව්කාරයන් වන ඔවුන් විසින් උන් වහන්සේට විරුද්ධ ව කියන ලද තද පරුෂ වචන ගැන ද ඔවුන් වරදට පත් කරන පිණිසත් ය”යි කියා ඇත.</verse>
				<verse number="16">මොවුහු මැසිවිලි කියති, කොඳුරති, සිය තෘෂ්ණා අනුව හැසිරෙති. ඔවුන්ගේ මුඛයෙන් අහංකාර වචන ගලා එයි; සිය වාසිය තකා අනුන්ට චාටුවෙන් ප්‍රශංසා කරති.</verse>
				<verse number="17">ප්‍රේමවන්තයෙනි, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සිය ප්‍රේරිතයන් ලවා පැවසූ මේ වචන සිහි කරන්න:</verse>
				<verse number="18">“අන්තිම දවස්වල දී, ආගමට ගරහමින් තමන්ගේ තෘෂ්ණා අනුව හැසිරෙන අය පැමිණෙනු ඇතැ”යි ඔව්හු කී හ.</verse>
				<verse number="19">ආත්මයාණන් නැති ව, මාංසික ව සිටින මොවුහු භේද උපදවන්නෝ ය.</verse>
				<verse number="20">එහෙත් ප්‍රේමවන්තයෙනි, ඔබගේ පරිශුද්ධ ඇදහිල්ලෙහි ශක්ති සම්පන්න වන්න; ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් යාච්ඤා කරන්න.</verse>
				<verse number="21">අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සිය දයාවෙන් ඔබට දෙන, සදාතන ජීවනය බලාපොරොත්තු වෙමින්, දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙහි පවතින්න.</verse>
				<verse number="22">සැක සිත් ඇති සමහරුන්ට අනුකම්පා කරන්න;</verse>
				<verse number="23">සමහරුන් ගින්නෙන් ඉවතට ඇදගනිමින්, බියෙන් යුක්ත ව ඔවුන් ගළවාගන්න. අන් සමහරුන්ට පරිස්සමෙන් අනුකම්පාව දක්වන්න. ඔවුන්ගේ පවිටු තෘෂ්ණා කරණකොටගෙන කැළැල් වූ, වස්ත්‍රවලට පවා ද්වේෂ කරන්න.</verse>
				<verse number="24">ඔබ නොවැටෙන ලෙස ආරක්ෂා කිරීමටත්, උන් වහන්සේගේ තේජස ඉදිරියෙහි ඔබ කැළැල් රහිත ව ද, ඉමහත් ප්‍රීතියෙන් ද පිළිගැන්වීමටත් හැකි,</verse>
				<verse number="25">අපගේ ගැළවුම්කාර එක ම දෙවියන් වහන්සේට අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් මහිමය හා තේජස ද, පරාක්‍රමය හා බලය ද, සියලු යුගවලට ප්‍රථමයෙන් වූ ලෙස, දැනටත්, යුගයෙන් යුගයටත් වේ වා! ආමෙන්.</verse>
			</chapter>
		</book>
		<book number="66">
			<chapter number="1">
				<verse number="1">දෙවියන් වහන්සේ, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට දැක්වූ එළිදරව්ව මේ ය. එය උන් වහන්සේට දෙන ලද්දේ ඉක්මනින් සිදු වන්නට තිබෙන දේවල් ස්වකීය සේවකයන්ට පෙන්වන පිණිස ය. ක්‍රිස්තුන් වහන්සේ ස්වකීය දූතයා එවමින් ඒ දේවල් තමන් සේවක ජොහන් හට දැන්වූ සේක.</verse>
				<verse number="2">ජොහන් ද දෙවියන් වහන්සේගේ පණිවුඩය ගැනත්, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සාක්ෂිය ගැනත්, එනම්, තමන් දුටු සියල්ල ගැන සාක්ෂි දුන්නේ ය.</verse>
				<verse number="3">මේ දිවැසි වාක්‍යය කියවන්නා ද, එහි වචනවලට සවන් දී ඒවා පිළිපදින්නෝ ද භාග්‍යවන්තයෝ ය. මන්ද, නියමිත කාලය ආසන්න ය.</verse>
				<verse number="4">ආසියාවේ සභා සතට මෙය ලියා එවන්නේ ජොහන් නම් මම ය. වැඩ සිටින, වැඩ සිටිය, මතු වඩින දෙවියන් වහන්සේගෙන් ද, උන් වහන්සේගේ සිහසුන ඉදිරියෙහි සිටින ආත්මයන් සත් දෙනාගෙන් ද, විශ්වාසවන්ත සාක්ෂිකරුත්</verse>
				<verse number="5">මළවුන්ගෙන් උත්ථාන වූ කුලුඳුලාත්, මිහි පිට රජුන්ගේ අධිපතියාත් වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද, ඔබට කරුණාව හා ශාන්තිය වේ වා! උන් වහන්සේ අපට ප්‍රේම කරන සේක; සිය යාගික රුධිරයෙන් අප පවින් මිදූ සේක.</verse>
				<verse number="6">තම පියාණන් වන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස උන් වහන්සේ අප රාජකීය පූජක වංශයක් කළ සේක. ඒ තැනැන් වහන්සේට, මහිමය ද බලපරාක්‍රමය ද සදහට ම වේ වා! ආමෙන්.</verse>
				<verse number="7">බලන්න, උන් වහන්සේ වලාකුළු පිරිවරා වඩින සේක. සියල්ලෝ උන් වහන්සේ දකින්නෝ ය. කුරුසියේ ඇණ ගැසූ අය ද උන් වහන්සේ දකින්නෝ ය. මිහි පිට සියලු ජාතීහු උන් වහන්සේ නිසා වැලපෙන්නෝ ය. එය සැබෑ ම ය. ආමෙන්.</verse>
				<verse number="8">“ආරම්භය ද අවසානය ද මම වෙමි”යි වැඩ සිටින, වැඩ සිටිය, මතු වඩින සර්ව පරාක්‍රම ස්වාමීන් වන දෙවියන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="9">ඔබගේ සහෝදරයා වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දුක් පීඩාවල ද, උන් වහන්සේගේ රාජ්‍යයේ ද, ඔබේ ඉවසිල්ලේ ද පංගුකාරයා වන, ජොහන් නම් මම, පැට්මොස් නම් දිවයිනෙහි සිටියෙමි. මා එහි සිටියේ දෙවියන් වහන්සේගේ පණිවුඩය දේශනා කිරීම නිසාත්, ජේසුස් වහන්සේ ගැන සාක්ෂි දීම නිසාත් ය.</verse>
				<verse number="10">සමිඳාණන් වහන්සේගේ දවසේ දී මම ආත්මයාණන් වහන්සේ තුළ සිටියෙමි. එවිට හොරණෑ හඬක් වැනි මහත් ශබ්දයක් මා පිටුපසින් ඇසිණි.</verse>
				<verse number="11">“ඔබ දකින දර්ශන පොතක ලියා, එපීසය, ස්මර්ණය, පෙර්ගමම්, තියාතිරා, සර්දිස්, පිලදෙල්පියාව, ලවෝදීසය යන මේ සභා සතට යවන්නැ”යි ඒ හඬ පැවසී ය.</verse>
				<verse number="12">එකල මට කතා කළ ඒ ශබ්දය කිමෙක් දැ යි බලන පිණිස මම හැරුණෙමි. එසේ හැරුණු කල, රන් පහන් රුක් සතක් ද,</verse>
				<verse number="13">ඒ පහන් රුක් මැද, පාද දක්වා වස්ත්‍රයක් හැඳ, ළය රන් පටියක් බැඳගෙන සිටි, මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි තැනැත්තෙකු ද දිටිමි.</verse>
				<verse number="14">උන් වහන්සේගේ හිස ද හිසකෙස් ද ලෝම මෙන් ද හිම මෙන් ද සුදෝසුදු ය; ඇස් ගිනි දැල්ලක් හා සමාන ය;</verse>
				<verse number="15">පාද උදුනක ගිනියම් කළ දිළිසෙන ලෝකඩ වැනි ය; උන් වහන්සේගේ කටහඬ සමුද්‍ර ඝෝෂයක් හා සමාන ය;</verse>
				<verse number="16">දකුණතෙහි තාරකා සතක් විය; උන් වහන්සේගේ මුඛයෙන් දෙමුවහත් තියුණු කඩුවක් නික්මිණි. උන් වහන්සේගේ මුහුණ මද්දහනේ හිරු මෙන් දීප්තිමත් ව බැබළිණි.</verse>
				<verse number="17">උන් වහන්සේ දුටු කල, මම මළ තැනැත්තෙකු මෙන් උන් වහන්සේ පාමුල වැටුණෙමි. උන් වහන්සේ සිය දකුණත මා පිට තබා මෙසේ වදාළ සේක: “බිය නොවන්න. මම පළමුවැන්නා සහ අන්තිමයා ය,</verse>
				<verse number="18">ජීවමාන තැනැත්තා ය. මම මැරුණෙමි; එහෙත් බලන්න, මම සදහට ම ජීවත් ව සිටිමි. මරණයේ ද පාතාල ලෝකයේ ද යතුරු මට ඇත.</verse>
				<verse number="19">එබැවින් ඔබ දුටු දේ ද දැන් තිබෙන දේ ද මතු සිදු වන්නට යන දේ ද වන ඔබ දකින මේ දේවල් ගැන ලියන්න.</verse>
				<verse number="20">මාගේ දකුණතෙහි ඔබ දුටු තාරකා සතෙහි ද රන් පහන් රුක් සතෙහි ද ගුප්තාර්ථය මේ ය; තාරකා සත නම් සභා සතේ දූතයෝ ය; පහන් රුක් සත නම් සභා සත ය.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">“එපීස සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘සිය දකුණතෙහි තාරකා සත දරන, රන් පහන් රුක් සත මැද සක්මන් කරන තැනැන් වහන්සේ, මෙසේ වදාරන සේක.</verse>
				<verse number="2">ඔබේ ක්‍රියා ද ඔබේ වෙහෙසීම් ද ඔබේ ඉවසීම ද මම දනිමි. ඔබ දුදනන් නුරුස්සන බව ද, ප්‍රේරිතවරුන්ගේ පදවිය අයුතු ලෙස පවරාගත් අය සෝදිසි කර බලා ඔබ ඔවුන් බොරුකාරයන් යයි දැනගත් බව ද මම දනිමි.</verse>
				<verse number="3">මාගේ නාමය නිසා, ඔබ ඉවසිල්ලෙන් දුක් ඉසිලීමේ දී පසුබට නො වූ බව ද මම දනිමි.</verse>
				<verse number="4">‘එහෙත් ඔබට විරුද්ධ ව එක චෝදනාවක් මට ඇත. මුලින් ඔබ මට දැක්වූ ප්‍රේමය දැන් නැත.</verse>
				<verse number="5">ඔබ කෙතරම් පහතට වැටී ඇත් දැ යි සිහියට ගෙන, පසුතැවී සිත හරවා ගන්න. මුලින් කළ ක්‍රියා නැවත කරන්න; එසේ නොකළොත්, පසුතැවී සිත හරවා නොගතහොත්, මම ඔබ වෙත පැමිණ, ඔබේ පහන් රුක තිබෙන තැනින් එය ඉවත් කරන්නෙමි.</verse>
				<verse number="6">එහෙත් ඔබේ වාසියට එක දෙයක් ඇත. එනම්, මා මෙන් ම ඔබත් නිකොලයිතයන්ගේ ක්‍රියාවලට ද්වේෂ කිරීම ය.</verse>
				<verse number="7">‘ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසා වා! ජයග්‍රාහකයාට දෙවියන් වහන්සේගේ පාරාදීසයෙහි තිබෙන ජීවන වෘක්ෂයෙන් අනුභව කරන්නට දෙන්නෙමි.’</verse>
				<verse number="8">“ස්මර්ණායේ සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘පළමුවැන්නා ද අන්තිමයා ද වන, මැරුණ නමුත් ජීවත් ව සිටින තැනැන් වහන්සේ, මෙසේ වදාරන සේක.</verse>
				<verse number="9">ඔබ විඳින බලවත් පීඩාව ද දිළිඳුකම ද මම දනිමි. එහෙත් ඔබ ධනවත් ය. ජුදෙව්වරුන් නොවන නමුත්, තුමූ ජුදෙව්වරුන් යයි කියාගන්නා, සාතන්ගේ හවුලක් වන අයගේ අපවාද මම දනිමි.</verse>
				<verse number="10">ඔබ විඳින්නට යන දේවලට බිය නොවන්න. බලන්න, ඔබ විමසන පිණිස, යක්ෂයා ඔබෙන් සමහරෙකු සිරගත කිරීමට අර අඳිමින් සිටියි. දස දවසක් ඔබ පීඩා විඳින්නහු ය. මරණය දක්වා විශ්වාසී ව සිටින්න; එවිට මම ඔබට ජීවන කිරුළ ප්‍රදානය කරමි.</verse>
				<verse number="11">‘ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසා වා! ජයග්‍රාහකයාට දෙ වන මරණයෙන් අනතුරක් නොවන්නේ ය.’</verse>
				<verse number="12">“පෙර්ගමම් සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘දෙමුවහත් තියුණු කඩුව දරන තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක.</verse>
				<verse number="13">ඔබ වාසය කරන තැන මම දනිමි. එය සාතන්ගේ සිංහාසනය පිහිටි ස්ථානය යි. එහෙත් ඔබ මට පක්ෂපාත ව සිටින්නහු ය. මාගේ විශ්වාසවන්ත සාක්ෂිකාරයෙකු වූ අන්තිපාස්, සාතන්ගේ වාසභූමිය වන ඔබේ නගරයේ දී මරනු ලැබූ කාලයේ දී පවා, ඔබ මා කෙරෙහි විශ්වාසය ප්‍රතික්ෂේප නොකළහු ය.</verse>
				<verse number="14">එහෙත් ඔබට විරුද්ධ ව චෝදනා ස්වල්පයක් මට ඇත. ඔබ අතර බාලාම්ගේ ඉගැන්වීම් පිළිගත් අය සිටිති. බාලාම්, දේවතා රූපවලට පිදූ පිදේනි කෑමටත්, කාමමිථ්‍යාචාරය කිරීමටත්, ඉශ්රායෙල් සෙනඟ පෙළඹවීමට බාලාක්ට ඉගැන්වී ය.</verse>
				<verse number="15">එලෙස ම නිකොලයිතයන්ගේ ඉගැන්වීම් පිළිගත් අයත් ඔබ අතර සිටිති.</verse>
				<verse number="16">එබැවින්, පසුතැවී සිත හරවා ගන්න. එසේ නුවූවොත්, මම විගසින් ඔබ වෙත පැමිණ, මාගේ මුඛයෙන් නික්මෙන කඩුවෙන් ඔවුන්ට විරුද්ධ ව සටන් කරන්නෙමි.</verse>
				<verse number="17">‘ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසා වා! සැඟවී තිබෙන මන්නා ආහාරයෙන් ජයග්‍රාහකයාට දෙන්නෙමි. තවද ලබන්නා මිස අන් කිසිවෙකු නොදන්නා අලුත් නාමයක් ලියා තිබෙන සුදු ගලක් ද මම ඔහුට දෙන්නෙමි.’</verse>
				<verse number="18">“තියාතිරා සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘ගිනි දැල්ලක් වැනි ඇස් ද, ඔපයෙන් දිළිසෙන ලෝකඩ වැනි පාද ද ඇති දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ මෙසේ වදාරන සේක.</verse>
				<verse number="19">ඔබේ ක්‍රියා ද ප්‍රේමය ද විශ්වාසවන්තකම ද සේවය ද ඉවසිල්ල ද මම දනිමි. තවද, මෑතක දී ඔබ කළ ක්‍රියා පෙරට වඩා හොඳ බව ද දනිමි.</verse>
				<verse number="20">එහෙත් ඔබට විරුද්ධ ව මේ චෝදනාව මට ඇත. තමා දිවැස්වරියකැ යි කියාගන්නා ජෙසබෙල් නම් ස්ත්‍රියට ඔබ අනුබල දෙන්නහු ය. කාමමිථ්‍යාචාරය කරන්නට ද දේවතා රූපවලට පිදූ පිදේනි කන්නට ද උගන්වමින් ඈ මාගේ සේවකයන් මුළා කරන්නී ය.</verse>
				<verse number="21">පසුතැවී සිත හරවා ගැනීමට මා ඇයට කාලය දී ඇත. එහෙත් ඈ කාමමිථ්‍යාචාරය ගැන පසුතැවී සිත හරවා ගැනීමට අකමැති වන්නී ය.</verse>
				<verse number="22">එබැවින් මම ඇය දුක් යහනක හෙළා, ඇය සමඟ කාමමිථ්‍යාචාරය කරන්නන් පසුතැවී සිත් හරවා නොගතහොත්, ඔවුන් ද ඇය සමඟ දරුණු පීඩාවකට පත් කරන්නෙමි.</verse>
				<verse number="23">තවද මම ඇගේ දරුවන් වනසාලන්නෙමි. එවිට, මිනිසුන්ගේ සිතුම්පැතුම් විමසන තැනැන් වහන්සේ මා බව, සියලු සභාවෝ දැන ගන්නහු ය. තවද, මම ඔබට එකිනෙකාගේ ක්‍රියා අනුව විපාක දෙන්නෙමි.</verse>
				<verse number="24">‘එහෙත් මේ ඉගැන්වීම් නොපිළිගත්, සාතන්ගේ යයි හඳුන්වනු ලබන ගුප්ත කරුණු නොදත්, තියාතිරාවෙහි සිටින සෙසු අයට මම මෙසේ කියමි.</verse>
				<verse number="25">මා එන තුරු ඔබට ඇති දේ තුළ ස්ථීර ව පවතින්න. වෙන බරක් ඔබ පිට මම නොතබමි.</verse>
				<verse number="26">අග දක්වා මාගේ ක්‍රියා නොපිරිහෙළා ඉටු කරන ජයග්‍රාහකයාට පියාණන් වහන්සේගෙන් මා ලැබූ ලෙස, ජාතීන් කෙරෙහි බලය පවරා දෙන්නෙමි,</verse>
				<verse number="27">මැටි බඳුන් බිඳ සුණු විසුණු කරන්නාක් මෙන්, ඔහු ඔවුන් යගදාවකින් පාලනය කරන්නේ ය.</verse>
				<verse number="28">මම ඔහුට පහන් තාරකාව ද දෙන්නෙමි.</verse>
				<verse number="29">‘ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසා වා!’</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">“සර්දිස් සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘දෙවියන් වහන්සේගේ ආත්මයන් සත් දෙනා හා තාරකා සත දරන තැනැන් වහන්සේ, මෙසේ වදාරන සේක. ඔබේ ක්‍රියා මම දනිමි. නමින් ඔබ ජීවත් ව සිටියත්, සැබැවින් ම ඔබ මළ කෙනෙකි.</verse>
				<verse number="2">පිබිදෙන්න. තවමත් ඉතිරි ව ඇති දේ මැරී යාමට පෙර පණගන්වන්න. මන්ද, මාගේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි, සම්පූර්ණ යයි කිව හැකි ඔබේ කිසි ක්‍රියාවක් මට නොපෙනේ.</verse>
				<verse number="3">එබැවින්, ඔබ අසා පිළිගත් වචනය සිහි කර, ඊට කීකරු වී, පසුතැවී සිත හරවා ගන්න. ඔබ අවදි ව නොසිටින්නහු නම්, සොරෙකු මෙන් ඔබ වෙත එන්නෙමි. මා ඔබ වෙත පැමිණෙන වේලාව ඔබ නොදන්නහු ය.</verse>
				<verse number="4">එහෙත් තමන්ගේ වස්ත්‍ර අපවිත්‍ර කර නොගත් ස්වල්ප දෙනෙක් සර්දිස්හි ඔබ අතර සිටිති. ඔව්හු සුදුස්සන් බැවින් ධවල වස්ත්‍ර ඇඳ මා සමඟ ඇවිදින්නෝ ය.</verse>
				<verse number="5">ජයග්‍රාහකයා මෙලෙස ධවල වස්ත්‍රයෙන් සරසනු ලබන්නේ ය. මම ඔහුගේ නාමය ජීවන පොතෙන් මකා නොහරින්නෙමි. මාගේ පියාණන් වහන්සේ ද, උන් වහන්සේගේ දූතයන් ද ඉදිරියෙහි මම ඔහුගේ නාමය පිළිගන්නෙමි.</verse>
				<verse number="6">‘ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසා වා!’</verse>
				<verse number="7">“පිලදෙල්පියා සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘ශුද්ධ වූ, සත්‍ය වූ, දාවිත්ගේ යතුර ඇත්තා වූ ද, කිසිවෙකු නොපියන ලෙස දොර අරින්නා වූ ද කිසිවෙකු නාරින ලෙස එය පියන්නා වූ ද තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක.</verse>
				<verse number="8">මම ඔබේ ක්‍රියා දනිමි. බලන්න, කිසිවෙකුට වැසිය නොහැකි විවෘත දොරක් මම ඔබ ඉදිරියෙහි තැබුවෙමි. ඔබට ඇති ශක්තිය ස්වල්ප වූ නමුත්, ඔබ මාගේ වචනය පිළිපැද්දහු ය. මාගේ නාමය ප්‍රතික්ෂේප නොකළහු ය.</verse>
				<verse number="9">බලන්න, ජුදෙව්වරුන් නොවන නමුත්, තුමූ ජුදෙව්වරු යයි බොරුවට කියා ගන්නා වූ සාතන්ගේ හවුලේ අයට පැමිණ ඔබේ පා ඉදිරියෙහි වැඳ වැටෙන්නටත්, මා ඔබට ප්‍රේම කළ බව දැනගන්නටත් සලසන්නෙමි.</verse>
				<verse number="10">ඉවසීමෙන් සිටින්නැ යි මා කළ නියමය ඔබ රක්ෂා කළ බැවින්, ලෝකවාසීන් පරීක්ෂා කිරීමට මුළු ලෝකය පිට පැමිණෙන්නට තිබෙන පරීක්ෂාවේ පැයෙන් මමත් ඔබ ආරක්ෂා කරන්නෙමි.</verse>
				<verse number="11">මම වහා ම එමි. ඔබේ කිරුළ කිසිවෙකු පැහැර නොගන්න ලෙස, ඔබ සතු දෙය තදින් අල්ලාගන්න.</verse>
				<verse number="12">ජයග්‍රාහකයා මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි කණුවක් කරන්නෙමි. ඔහු එතැනින් කිසි කලෙක පිටත නොයන්නේ ය. මාගේ දෙවියන් වහන්සේගේ නාමය ද, මාගේ දෙවියන් වහන්සේ කෙරෙන් ස්වර්ගයෙන් බසින නව ජෙරුසලම වන මාගේ දෙවියන් වහන්සේගේ නගරයේ නාමය ද, මාගේ ම අලුත් නාමය ද ඔහු පිට කැටයම් කරන්නෙමි.</verse>
				<verse number="13">‘ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසා වා!’</verse>
				<verse number="14">“ලවෝදීසයේ සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘විශ්වාසවන්ත, සත්‍ය සාක්ෂිකාරයාණන් වන දෙවියන් වහන්සේගේ මැවිල්ලේ කර්තෘ වූ ආමෙන් නම් තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක.</verse>
				<verse number="15">මම ඔබේ ක්‍රියා දනිමි. ඔබ ශීතල ගතියෙන් වත් උණුසුම් ගතියෙන් වත් නොසිටින බව මම දනිමි. ඔබ ශීතල ව හෝ උණුසුම් ව හෝ සිටියා නම් මම කැමැත්තෙමි.</verse>
				<verse number="16">ඔබ උණුසුම් ව හෝ ශීතල ව හෝ නොසිට, ඇල්මැරී සිටින බැවින් මම මාගේ මුඛයෙන් ඔබ වමාරන්නෙමි.</verse>
				<verse number="17">‘මම ධනවත් ය, මට මහත් සම්පත් ඇත. මට කිසි හිඟයක් නැතැ’යි ඔබ කියන්නහු ය. එහෙත්, ඔබ කාලකණ්ණියෙකි, දුඃඛිතයෙකි, දිළින්දෙකි, අන්ධයෙකි, නග්නය, මේ කිසිවක් ඔබ නොදන්නහු ය.</verse>
				<verse number="18">එහෙයින් ඔබ ධනවත් වන පිණිස ගින්නෙන් පවිත්‍ර කළ රන් ද, නග්න භාවයේ විළිලජ්ජාව එළි නොවන පිණිස ඇඳගන්නට ධවල වස්ත්‍ර ද, ඇස් පෙනෙන පිණිස ආලේප කිරීමට අඳුන් ද, මාගෙන් මිලට ගන්නා ලෙස මම අවවාද කරමි.</verse>
				<verse number="19">මා ප්‍රේම කරන සියල්ලන්ට තරවටු කර මම ඔවුන් හික්මවමි. එබැවින් උද්‍යෝගිමත් ව, පසුතැවී සිත් හරවා ගන්න.</verse>
				<verse number="20">මෙන්න, මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර අරින්නේ නම් මම ඇතුළු වී, ඔහු සමඟ කෑම කන්නෙමි. ඔහු ද මා සමඟ කෑම කන්නේ ය.</verse>
				<verse number="21">මා ජයගෙන, පියාණන් වහන්සේ සමඟ, උන් වහන්සේගේ සිංහාසනයෙහි හිඳගත්තාක් මෙන්, ජයග්‍රාහකයාට ද මාගේ සිංහාසනයෙහි මා සමඟ හිඳගැන්මට දෙන්නෙමි.</verse>
				<verse number="22">‘ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසා වා!’ “</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">ඉන්පසු මෙන්න, අහසේ දොරක් ඇරී තිබෙනු මම දිටිමි. හොරණෑ හඬක් මෙන් කලින් මට කතා කළ එම හඬ, “මෙහි නැඟී එන්න. මින්පසු සිදු වෙන්නට යන දේ මම ඔබට පෙන්වන්නෙමි”යි කී ය.</verse>
				<verse number="2">එකෙණෙහි ම මම ආත්මයාණන් වහන්සේගේ බලයට යටත් වී සිටියෙමි. ස්වර්ගයෙහි සිංහාසනයක් තිබිණි. ඒ සිංහාසනයෙහි කෙනෙක් වැඩ උන්හ.</verse>
				<verse number="3">එහි වැඩහුන් තැනැන් වහන්සේ පෙනුමෙන් සූර්යකාන්තයට හා පුෂ්පරාගයට සමාන වූ සේක. සිංහාසනය වටා මරකත මෙන් දිළෙන දේදුන්නක් විය.</verse>
				<verse number="4">මේ සිංහාසනය වටේ තව සිංහාසන විසිසතරක් විය. ඒ සිංහාසනවල කුලදෙටුවන් විසිසතරදෙනෙකු ධවල වස්ත්‍ර හැඳ, සිය හිස් මත රන් ඔටුනු දරාගෙන වාඩි වී සිටිනු මම දිටිමි.</verse>
				<verse number="5">සිංහාසනයෙන් විදුලිය ද ශබ්ද ද අහස් ගිගුරුම් ද නික්මිණි. සිංහාසනය ඉදිරියෙහි ගිනි පහන් සතක් දැල්වෙමින් තිබිණි. ඒ සත නම් දෙවියන් වහන්සේගේ ආත්මයෝ සත් දෙනා ය.</verse>
				<verse number="6">සිංහාසනය ඉදිරියෙහි පළිඟු හා සමාන වීදුරු සමුද්‍රයක් වැනි දර්ශනයක් විය. ඒ සිංහාසනය මැද හා අවටින්, ඉදිරියෙන් හා පිටුපසින්, ඇස් රාශියක් ඇති ජීවමාන සත්ත්වයෝ සතර දෙනෙක් වූ හ.</verse>
				<verse number="7">පළමු වන සත්ත්වයා සිංහයෙකුට සමාන ය. දෙ වන සත්ත්වයා වස්සෙකුට සමාන ය. තුන් වන සත්ත්වයාට මනුෂ්‍යයෙකුගේ මෙන් මුහුණක් තිබිණි. සතර වන සත්ත්වයා පියාසර කරන රාජාලියෙකුට සමාන ය.</verse>
				<verse number="8">ඒ සත්ත්වයන් සතර දෙනාගෙන් එකිනෙකාට පියාපත් හය බැගින් තිබිණි. ඔවුන් වටකර ද ඇතුළත ද ඇස්වලින් පිරී තිබුණේ ය. ඔව්හු, “වැඩ සිටි, වැඩ සිටින, මතු වඩින සර්වපරාක්‍රම ස්වාමීන් වන දෙවියන් වහන්සේ, සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය”යි දිවා රෑ දෙක්හි නොනැවතී ගයන්නාහ.</verse>
				<verse number="9">ඒ ජීවමාන සත්ත්වයන් සිංහාසනයෙහි වැඩ හිඳින, සදහට ම ජීවත් වන තැනැන් වහන්සේට ප්‍රශංසාව ද ගෞරවය ද ස්තුතිය ද දෙන හැම විට ම,</verse>
				<verse number="10">කුලදෙටුවෝ විසිහතර දෙනා ද, සිංහාසනයෙහි වැඩ සිටින තැනැන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටී, සදහට ම ජීවත් වන තැනැන් වහන්සේට නමස්කාර කරති. එසේ කරමින් ඔව්හු සිය ඔටුනු සිංහාසනය ඉදිරියෙහි හෙළා:</verse>
				<verse number="11">“අපගේ සමිඳාණන් වහන්ස, අපගේ දෙවියන් වහන්ස, ඔබ ප්‍රශංසාව ද ගෞරවය ද බලය ද, ලබන්නට වටින තැනැන් වහන්සේ ය. මන්ද, ඔබ සියලු දේ මවා වදාළ සේක. ඔබගේ කැමැත්ත නිසා, සියලු දේ ඇති විය. සියලු දේ මවන ලද්දේ ය”යි කියන්නාහ.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">එවිට ඇතුළත හා පිටත ලියන ලද, මුද්‍රා සතකින් මුද්‍රා තැබූ පොතක් සිංහාසනයෙහි වැඩහුන් තැනැන් වහන්සේගේ දකුණතෙහි තිබෙනු දිටිමි.</verse>
				<verse number="2">“ඒ පොත දිග අරින්නටත්, මුද්‍රා කඩන්නටත් සුදුස්සා කවරෙක් දැ”යි කියමින් මහ හඬින් හඬගසන බලවත් දේව දූතයෙකු දිටිමි.</verse>
				<verse number="3">එහෙත් ඒ පොත දිග හරින්නට වත්, එය බලන්නට වත් හැකි කිසිවෙක් ස්වර්ගයෙහි වත්, මිහි පිට වත්, පොළොවෙන් යට වත් නොසිටියේ ය.</verse>
				<verse number="4">පොත දිග අරින්නට වත්, එය බලන්නට වත්, සුදුසු කිසිවෙකු හමු නො වූ බැවින් මම බොහෝසේ හැඬුවෙමි.</verse>
				<verse number="5">එවිට එක් කුලදෙටුවෙක් මට කතා කර, “නාඬන්න, පොත ඇරීමේ සහ එහි මුද්‍රා සත කැඩීමේ වරම දාවිත්ගේ පෙළපතින් පැවත එන ජුදා ගෝත්‍රයේ සිංහයාණෝ දිනාගත්හ”යි මට කී ය.</verse>
				<verse number="6">එවිට සිංහාසනය ද ජීවමාන සත්ත්වයන් සතර දෙනා ද කුලදෙටුවන් ද මධ්‍යයෙහි මරනු ලැබුවාක් මෙන් පෙනුණු බැටළු පෝතකයෙකු සිටිනු මම දිටිමි. ඒ බැටළු පෝතකයාට අං සතක් ද ඇස් සතක් ද විය. ඇස් සත නම්, ලොව පුරා යවනු ලැබූ දෙවියන් වහන්සේගේ ආත්මයෝ සත් දෙනා ය.</verse>
				<verse number="7">බැටළු පෝතකයාණෝ අවුත් සිංහාසනයෙහි වැඩහුන් තැනැන් වහන්සේගේ දකුණතින් පොත ගත්හ.</verse>
				<verse number="8">එසේ පොත ගත් කල ජීවමාන සත්ත්වයෝ සතර දෙනා හා කුලදෙටුවෝ විසිසතර දෙනා, එකිනෙකා වීණාවක් ද, සුවඳ ද්‍රව්‍යයෙන් පිරුණු රන් පාත්‍ර ද රැගෙන බැටළු පෝතකයාණන් ඉදිරියෙහි වැඳ වැටුණෝ ය. ඒ සුවඳ ද්‍රව්‍ය නම් සැදැහැවතුන්ගේ යාච්ඤා ය.</verse>
				<verse number="9">
					ඔව්හු මේ අලුත් ගීතය ගායනා කළහ: “පොත ගන්නටත් එහි මුද්‍රා කඩන්නටත් සුදුසු තැනැන් වහන්සේ ඔබ ය. මන්ද, ඔබ මරනු ලැබ, ඒ මරණය නමැති මිලයෙන් සියලු ගෝත්‍රවලින් ද භාෂාවලින් ද ජනයාගෙන් ද ජාතීන්ගෙන් ද මිනිසුන්, දෙවියන් වහන්සේ උදෙසා ලබාගත් සේක.
				</verse>
				<verse number="10">අපගේ දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබ ඔවුන් රාජකීය පූජක වංශයක් කළ සේක; ඔව්හු මිහි පිට රජකම් කරන්නාහ,”</verse>
				<verse number="11">එවිට මා බැලූ කල, සිංහාසනය ද ජීවමාන සත්ත්වයන් ද කුලදෙටුවන් ද සිසාරා සිටි මහා දේව දූත පිරිසක් දිටිමි. ඔවුන්ගේ හඬ ද මට ඇසුණේ ය. ඔවුන්ගේ ගණන දස දහසක් වර දස දහසක් ද දහස් වර දහසක් ද විය.</verse>
				<verse number="12">ඔව්හු මහ හඬින් මෙසේ කී හ: “මරනු ලැබූ බැටළු පෝතකයාණෝ බලය ද ධනය ද ප්‍රඥාව ද පරාක්‍රමය ද ගෞරවය ද මහිමය ද ප්‍රශංසාව ද ලබන්නට සුදුසු තැනැන් වහන්සේ ය.”</verse>
				<verse number="13">තවද, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද පොළොව යට ද මුහුදෙහි ද යන මුළු ලෝකයෙහි ඇති සියලු සත්ත්වයන්: “සිංහාසනයෙහි වැඩ සිටින තැනැන් වහන්සේටත්, බැටළු පෝතකයාණන්ටත් ප්‍රශංසාව ද ගෞරවය ද මහිමය ද පරාක්‍රමය ද සදහට ම වේ වා!”යි කියනු ඇසීමි.</verse>
				<verse number="14">ජීවමාන සත්ත්වයෝ සතර දෙනා ද “ආමෙන්” යයි කී හ. කුලදෙටුවෝ වැඳ වැටී නමස්කාර කළහ.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">එවිට බැටළු පෝතකයාණන් මුද්‍රා සතින් පළමුවැන්න කඩනවා මම දිටිමි. එකල ජීවමාන සත්ත්වයන් සතර දෙනාගෙන් එකෙකු ගිගුරුම් හඬකින් මෙන් කතා කොට, “එන්නැ”යි කියනු ඇසීමි.</verse>
				<verse number="2">එකෙණෙහි ම මම සුදු අශ්වයෙකු දිටිමි. අසු පිට හුන් තැනැත්තා අතේ දුන්නක් තිබුණේ ය. කිරුළක් ඔහුට දෙන ලදි. ඔහු ජයග්‍රාහකයෙකුගේ විලාශයෙන් ජයෙන් ජයට පත් වන පිණිස නික්ම ගියේ ය.</verse>
				<verse number="3">බැටළු පෝතකයාණන් දෙ වන මුද්‍රාව කැඩූ කල, දෙ වන ජීවමාන සත්ත්වයා කතා කොට, “එන්නැ”යි කියනු ඇසීමි.</verse>
				<verse number="4">එවිට රතු ම රතු, තවත් අශ්වයෙක් නික්ම ආවේ ය. ඒ අසු පිට හුන් තැනැත්තාට මනුෂ්‍යයන් ඔවුනොවුන් මරා ගන්නා පිණිස, පොළොවෙන් සාමදානය දුරු කරන්නට බලය දෙන ලද්දේ ය. ඔහුට මහා කඩුවක් ද දෙන ලදී.</verse>
				<verse number="5">බැටළු පෝතකයාණන් තුන් වන මුද්‍රාව කැඩූ කල, තුන් වන ජීවමාන සත්ත්වයා, “එන්නැ”යි කියනු මම ඇසීමි. එකෙණෙහි ම කළු අශ්වයෙක් එහි විය. ඒ අසු පිට හුන් තැනැත්තා අතේ, තරාදියක් තිබුණේ ය.</verse>
				<verse number="6">එවිට ජීවමාන සත්ත්වයන් සතර දෙනා මධ්‍යයෙන් නික්මුණු හඬක් වැනි ශබ්දයක් මට ඇසුණේ ය. එය: “තිරිඟු ලීටර් එකක් දවසේ වේතනයකි; යව ලීටර් තුනක් දවසේ වේතනයකි; එහෙත් තෙල්වලටත් මුද්‍රික පානයටත් අනතුරු නොකරන්නැ”යි කී ය.</verse>
				<verse number="7">බැටළු පෝතකයාණන් සතර වන මුද්‍රාව කැඩූ කල, සතර වන ජීවමාන සත්ත්වයා, “එන්නැ”යි කියනු මම ඇසීමි.</verse>
				<verse number="8">එකෙණෙහි ම මම සුදුමැලි අශ්වයෙකු දිටිමි. ඒ අසු පිට හුන් තැනැත්තාගේ නාමය මාරයා යනු ය. පාතාල ලෝකය ද ඔහු පසුපස්සේ ගියේ ය. කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද පොළොවේ වන මෘගයන් ලවා ද මරණය පැමිණවීමට පොළොවෙන් සතරෙන් කොටසක් කෙරෙහි බලය ඔවුන්ට දෙන ලද්දේ ය.</verse>
				<verse number="9">බැටළු පෝතකයාණන් පස් වන මුද්‍රාව කැඩූ කල දෙවියන් වහන්සේගේ වචනය නිසා ද තමන් දැරූ සාක්ෂිය නිසා ද මරනු ලැබූවන්ගේ ආත්මයන් පූජාසනය යට දිටිමි.</verse>
				<verse number="10">ඔව්හු කතා කරමින්, “ස්වාමීනි, ශුද්ධ වූ සත්‍ය වූ තැනැන් වහන්ස, ඔබ පොළොවෙහි වාසය කරන්නන් විනිශ්චය නොකොට, අපේ ලේ ගැන ඔවුන්ගෙන් පළි නොගෙන කොපමණ කල් ප්‍රමාද වන සේක් දැ”යි මහ හඬින් මොරගසා කී හ.</verse>
				<verse number="11">එවිට ඔවුන් එකිනෙකාට සුදු සළුවක් දෙන ලද්දේ ය. ඔවුන් මෙන් ම මරනු ලැබීමට සිටි ඔවුන්ගේ හවුල් මෙහෙකරුවන්ගේ ද සහෝදරයන්ගේ ද ගණන සම්පූර්ණ වන තුරු තව ටික කලක් නවතින්නැ යි ඔවුන්ට කියන ලද්දේ ය.</verse>
				<verse number="12">බැටළු පෝතකයාණන් ස වන මුද්‍රාව කඩනවා මම බලා සිටියෙමි. එවිට මහත් භූමිකම්පාවක් ඇති විය. සූර්යයා කළු පැහැති ගෝණියක් මෙන් විය. හඳ මුළුමනින් ම ලේ මෙන් රතු විය.</verse>
				<verse number="13">අත්තික්කා ගසක් සැඩ සුළඟින් සෙලවී එහි අකල් පල වැටෙන්නාක් මෙන් අහසේ තාරකා පොළොව පිට වැටිණි.</verse>
				<verse number="14">අකුළන ලද පොතක් මෙන් අහස නොපෙනී ගියේ ය. සියලු කඳු ද දිවයින් ද ඒවා පිහිටි තැන්වලින් පහ කරන ලද්දේ ය.</verse>
				<verse number="15">පොළොවේ රජවරු ද උත්තමයෝ ද සේනාධිපතියෝ ද ධනපතියෝ ද බලවන්තයෝ ද දාසයෝ ද නිර්දාසයෝ ද යන මේ සියලු දෙනා ගුහාවලත්, කඳු සහ පර්වත අතරේත් සැඟවුණෝ ය.</verse>
				<verse number="16">ඔව්හු කඳුවලටත් පර්වතවලටත් කතා කොට, “අප පිට වැටී සිංහාසනයෙහි වැඩ සිටින තැනැන් වහන්සේගේ මුහුණ ඉදිරියෙනුත් බැටළු පෝතකයාණන්ගේ උදහසිනුත් අප සඟවා ගන්න.</verse>
				<verse number="17">මන්ද, ඔවුන් පිට උදහසේ මහා දවස පැමිණ තිබෙන බැවින්, ඊට මුහුණ දියහැක්කේ කාට දැ”යි කී හ.</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">ඉන්පසු දේව දූතයන් සතර දෙනෙකු පොළොවේ සතර කොණේ සිටිනු දිටිමි. ඔව්හු ගොඩට වත් මුහුදට වත් කිසි ම ගසකට වත් සුළං නොවදින පිණිස පොළොවේ සතර දිග සුළඟ අල්ලාගෙන සිටියහ.</verse>
				<verse number="2">එවිට තවත් දේව දුතයෙකු ජීවමාන දෙවියන් වහන්සේගේ මුද්‍රාව රැගෙන පෙරදිගින් නැඟී එනු දිටිමි. ඔහු ගොඩටත් මුහුදටත් අනතුරු කරන්නට බලය ලත් දේව දූතයන් සතර දෙනාට මහ හඬකින් මොරගසා,</verse>
				<verse number="3">“අපේ දෙවියන් වහන්සේගේ සේවකයන්ගේ නළල් මත මුද්‍රා සලකුණ තබන තුරු, ගොඩට වත්, මුහුදට වත්, ගස්වලට වත් අනතුරක් නොකරන්නැ”යි කී ය.</verse>
				<verse number="4">තවද, මුද්‍රා සලකුණ ලත් අයගේ ගණන මට ඇසුණේ ය. සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් මුද්‍රා සලකුණු ලත් අය එක් ලක්ෂ සතළිස් සාර දහසක් වූ හ.</verse>
				<verse number="5">ජූදාගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් මුද්‍රා කරනු ලැබූ හ. රූබන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද ගාද්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද</verse>
				<verse number="6">ආෂෙර්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද නප්තලීගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද මනස්සේගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද</verse>
				<verse number="7">සිමියොන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද ලෙවීගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද</verse>
				<verse number="8">සාබුලොන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද ජෝසෙප්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද මුද්‍රා කරනු ලැබූ හ.</verse>
				<verse number="9">ඉන්පසු සියලු ජාතීන්ගෙන් ද ගෝත්‍රවලින් ද ජන සමූහයාගෙන් ද භාෂාවන්ගෙන් ද කිසිවෙකුට ගණන් නොකළ හැකි තරම් ඉමහත් පිරිසක්, සුදු සළු පැළඳ, තාල පත්‍ර අතින් ගෙන, සිංහාසනය හා බැටළු පෝතකයාණන් ඉදිරියෙහි සිටිනු මම දිටිමි.</verse>
				<verse number="10">ඔව්හු මහ හඬින් මොරගසා “සිංහාසනයෙහි වැඩ හිඳින අපේ දෙවියන් වහන්සේගෙන් ද බැටළු පෝතකයාණන්ගෙන් ද ගැළවීම පැමිණේ ය”යි කී හ.</verse>
				<verse number="11">සියලු දේව දූතයෝ සිංහාසනය ද කුලදෙටුවන් ද ජීවමාන සත්ත්වයන් සතර දෙනා ද සිසාරා, සිංහාසනය ඉදිරියෙහි වැඳ වැටී, දෙවියන් වහන්සේට නමස්කාර කරමින්,</verse>
				<verse number="12">“ආමෙන්! ප්‍රශංසාව ද මහිමය ද ප්‍රඥාව ද ස්තුතිය ද ගෞරවය ද බලය ද පරාක්‍රමය ද අපේ දෙවියන් වහන්සේට සදහට ම වේ වා! ආමෙන් ය”යි කී හ.</verse>
				<verse number="13">එවිට කුලදෙටුවන්ගෙන් එක් තැනැත්තෙක් මට කතා කොට, “සුදු සළු පැළඳගත් මොවුහු කවුරු ද? කොතැනින් ආවෝ දැ”යි මාගෙන් ඇසී ය.</verse>
				<verse number="14">“මාගේ ස්වාමීනි, ඔබ එය දන්නෙහි ය”යි මම ඔහුට කීමි. එවිට ඔහු මා අමතා, “මොවුහු මහත් පීඩා මැදින් එන්නාහ. ඔව්හු තම සළු බැටළු පෝතකයාණන්ගේ ලෙයින් සෝදා සුදු කරගත්තෝ ය.</verse>
				<verse number="15">ඔවුන් දිවා රෑ දෙක්හි දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි සේවය කරමින් උන් වහන්සේගේ සිංහාසනය ඉදිරියේ සිටින්නේ ඒ හෙයිනි. සිංහාසනයේ වැඩ හිඳින තැනැන් වහන්සේ ඔවුන් සමඟ වැඩ වසන සේක.</verse>
				<verse number="16">ඔවුන්ට මින්පසු සාගින්නක් වත් පිපාසයක් වත් නැත. සූර්ය තාපය වත් දැවෙන ග්‍රීෂ්මය වත් ඔවුන් පෙළන්නේ නැත.</verse>
				<verse number="17">මන්ද, සිංහාසනය මැද සිටින බැටළු පෝතකයාණෝ ඔවුන්ගේ එඬේරාණන් වී, ජීවන දිය උල්පත්වලට ඔවුන් ගෙනයන සේක. දෙවියන් වහන්සේ ද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන සේකැ”යි කී ය.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">බැටළු පෝතකයාණන් සත් වන මුද්‍රාව කැඩූ කල ස්වර්ගයෙහි අඩපැයක් පමණ නිශ්ශබ්දතාවක් ඇති විය.</verse>
				<verse number="2">එවිට මම දෙවියන් වහන්සේ ඉදිරියෙහි සිටින දේව දූතයන් සත් දෙනා දිටිමි. ඔවුන්ට හොරණෑ සතක් දෙන ලද්දේ ය.</verse>
				<verse number="3">තවත් දේව දුතයෙක් රන් ධූම පාත්‍රයක් රැගෙන පූජාසනය ළඟ සිටියේ ය. සිංහාසනය ඉදිරියෙහි තිබුණු රන් පූජාසනය පිට සියලු සැදැහැවතුන්ගේ යාච්ඤා සමඟ ඔප්පු කරන පිණිස බොහෝ සුගන්ධ ද්‍රව්‍ය ඔහුට දෙන ලද්දේ ය.</verse>
				<verse number="4">සුගන්ධ ද්‍රව්‍යයන්හි දුම සැදැහැවතුන්ගේ යාච්ඤා සමඟ දේව දූතයාගේ අතින් දෙවියන් වහන්සේ වෙත නැඟුණි.</verse>
				<verse number="5">දේව දූතයා ද ධූම පාත්‍රය රැගෙන පූජාසනයේ ගින්නෙන් එය පුරවා පොළොවට හෙළී ය. එවිට අහස් ගිගුරුම් ද ශබ්ද ද විදුලි කෙටීම් ද භූමිකම්පාවක් ද විය.</verse>
				<verse number="6">හොරණෑ හත අතින් ගත් දේව දූතයෝ සත් දෙනා ඒවා පිඹින පිණිස සූදානම් වූ හ.</verse>
				<verse number="7">පළමු වන දේව දූතයා හොරණෑව පිම්බේ ය. එවිට ලේ මුසු ගල් වර්ෂාවක් ද ගිනි ද හටගෙන පොළොව පිට හෙළනු ලැබී ය. පොළොවෙන් තුනෙන් කොටසක් දැවී ගියේ ය. ගස්වලින් තුනෙන් කොටසක් ද දැවී ගියේ ය. අමු තණකොළ සියල්ල ද දැවී ගියේ ය.</verse>
				<verse number="8">දෙවැන්නා ද හොරණෑව පිම්බේ ය. එවිට ගින්නෙන් ඇවිලෙන මහා කන්දක් වැනි දෙයක් මුහුදේ හෙළනු ලැබී ය. මුහුදින් තුනෙන් කොටසක් ලේ විය.</verse>
				<verse number="9">පණ ඇති මුහුදු සත්ත්වයන්ගෙන් තුනෙන් කොටසක් මළෝ ය. නැව්වලින් ද තුනෙන් කොටසක් විනාශ විය.</verse>
				<verse number="10">තුන්වැන්නා ද හොරණෑව පිම්බේ ය. එවිට මහා තාරකාවක් ගිනි පන්දමක් මෙන් ඇවිලෙමින් අහසින් වැටිණි. එය ගංගාවලින් තුනෙන් කොටසක් පිට ද දිය උල්පත් පිට ද වැටිණි.</verse>
				<verse number="11">තාරකාවේ නාමය ‘තික්ත’ යනුයි. වතුරෙන් තුනෙන් කොටසක් තික්ත විය. එය තික්ත වී තිබුණු බැවින් බොහෝ මනුෂ්‍යයෝ ඒ වතුර බී මළෝ ය.</verse>
				<verse number="12">සතර වන දූතයා ද හොරණෑව පිම්බේ ය. එවිට හිරුගෙන් තුනෙන් කොටසක් ද සඳුගෙන් තුනෙන් කොටසක් ද තාරකාවලින් තුනෙන් කොටසක් ද පහර ලැබී ය. මෙසේ ඒවායින් තුනෙන් කොටසක් අඳුරු විය. දවාලෙන් තුනෙන් කොටසක ද එසේ ම රාත්‍රියෙහි තුනෙන් කොටසක ද ආලෝකය පහ විය.</verse>
				<verse number="13">තවද එක් රාජාලියෙකු මැද අහසේ පියාසර කරමින්, “මින්පසු දේව දූතයන් තුන් දෙනා පිඹින්නට යන අන්තිම හොරණෑවල ශබ්දය පැතිර යන විට පොළොවෙහි වාසය කරන්නන් හට දුක් වේ, දුක් වේ, දුක් වේ ය”යි මහ හඬින් කියනු මට ඇසිණි.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">පස් වන දේව දූතයා ද හොරණෑව පිම්බේ ය. එවිට අහසින් තාරකාවක් පොළොවට වැටී තිබෙනු මම දිටිමි. එයට පාතාල වළේ යතුර දෙන ලදී.</verse>
				<verse number="2">එය පාතාල වළ විවෘත කෙළේ ය. එවිට එයින් මහත් උදුනකින් මෙන් දුමක් නැඟී, ඉරත් ආකාශයත් වළේ දුමෙන් අඳුරු විය.</verse>
				<verse number="3">ඒ දුමෙන් පළඟැටියෝ පොළොව පිටට නික්ම ආහ. පොළොවේ ගෝනුස්සන්ට මෙන් බලයක් ඔවුන්ට දෙන ලදී.</verse>
				<verse number="4">දෙවියන් වහන්සේගේ මුද්‍රා සලකුණ තමන්ගේ නළල්වල නැති මනුෂ්‍යයන්ට මිස, පොළොවේ තණ කොළවලට වත්, පැළෑටිවලට වත්, කිසි ගසකට වත් අනතුරු නොකරන ලෙස උන්ට කියන ලද්දේ ය.</verse>
				<verse number="5">උන්ට අවසර තිබුණේ මිනිසුන් මරන්නට නොව ඔවුන්ට පස් මසක් පීඩා කරන්නට ය. ඔවුන්ගේ වේදනාව මනුෂ්‍යයෙකුට ගෝනුස්සෙකු ඇන්න විට හටගන්න වේදනාව මෙන් විය.</verse>
				<verse number="6">ඒ දවස්වල දී මනුෂ්‍යයන් මරණය සොයන නමුත්, කිසිසේත් එය හමු නොවන්නේ ය. ඔවුන් මරණය පතන නමුත්, මරණය ඔවුන් කෙරෙන් පලා යන්නේ ය.</verse>
				<verse number="7">පළඟැටියන්ගේ ආකාරය, යුද්ධයට සැරසී සිටින අශ්වයන්ට සමාන ය. උන්ගේ හිස් පිට රන් ඔටුනු වැනි යමක් තිබිණි. උන්ගේ මුහුණු මනුෂ්‍යයන්ගේ මුහුණු හා සමාන ය.</verse>
				<verse number="8">උන්ගේ හිසකේ ස්ත්‍රීන්ගේ හිසකේ මෙන් ද උන්ගේ දත් සිංහයන්ගේ දත් මෙන් ද විය.</verse>
				<verse number="9">උන්ගේ ළය වැසුම් යකඩ ළය වැසුම් මෙන් විය. උන්ගේ පියාපත්වල ශබ්දය යුද්ධයට කඩා පනින බොහෝ අශ්වරථවල ශබ්දයට සමාන ය.</verse>
				<verse number="10">ගෝනුස්සන්ගේ මෙන් වලිග සහ දළ ඔවුන්ට ඇත. මනුෂ්‍යයන්ට පස් මසක් පීඩා කිරීමේ බලය උන්ගේ වලිගවල පිහිටා තිබිණි.</verse>
				<verse number="11">පාතාලයේ දූතයා උන්ගේ රජ විය. ඔහුගේ නම හෙබ්‍රෙව් බසින් අබද්දෝනි ය. ග්‍රීක බසින් අපොල්ලියොන් ය. (එහි අර්ථය ‘විනාශකයා’ යනුයි)</verse>
				<verse number="12">පළමු වන විපත්තිය පහ විය. ඉන්පසු තව විපත්ති දෙකක් පැමිණේ.</verse>
				<verse number="13">සය වන දේව දූතයා ද හොරණෑව පිම්බේ ය. එවිට, “එප්‍රාත් නම් මහා ගංගාව අසබඩ බඳින ලද දූතයන් සතර දෙනා මුදන්නැ”යි,</verse>
				<verse number="14">හොරණෑව ගෙන සිටි සය වන දේව දූතයාට කියන හඬක් දෙවියන් වහන්සේ ඉදිරියෙහි වූ රන් පූජාසනයේ සතර කොණින් මට ඇසුණේ ය.</verse>
				<verse number="15">එවිට මනුෂ්‍යයන්ගෙන් තුනෙන් කොටසක් මරන පිණිස දූතයෝ සතර දෙනා මුදනු ලැබුවෝ ය. ඒ සඳහා මේ අවුරුද්දේ, මේ මාසයේ, මේ දවසේ, මේ පැයේ ක්‍රියා කරන පිණිස ඔව්හු සූදානම් කරනු ලැබ සිටියහ.</verse>
				<verse number="16">අසරු සේනාවන්ගේ ගණන විසි කෝටියකැ යි ඔවුන්ගේ සංබ්‍යාව කියනු ඇසීමි.</verse>
				<verse number="17">මෙසේ අශ්වයන් ද උන් පිට හුන් අය ද මම දර්ශනයෙන් දිටිමි. ඔව්හු ගිනි ද නිල් කැට ද ගෙන්දගම් ද පැහැති ළය වැසුම් පැළඳ සිටියහ. අශ්වයන්ගේ හිස් සිංහයන්ගේ හිස් වැනි ය. උන්ගේ කටින් ගිනි ද දුම් ද ගෙන්දගම් ද නික්මිණි.</verse>
				<verse number="18">උන්ගේ කටින් නික්මුණු ගිනි ද දුම් ද ගෙන්දගම් ද යන මේ පීඩා තුනෙන් මනුෂ්‍යයන්ගෙන් තුනෙන් කොටසක් මරනු ලැබූ හ.</verse>
				<verse number="19">මන්ද, ඒ අශ්වයන්ගේ බලය පිහිටියේ උන්ගේ කටවලත්, වලිගවලත් ය. උන්ගේ වලිග සර්පයනට සමාන ය; හිස් සහිත වූ ඒ වලිගවලින් ඔව්හු අනතුරු කරති.</verse>
				<verse number="20">මේ පීඩාවලින් නොමැරී ඉතිරි වූ මනුෂ්‍යයෝ තමන්ගේ අත්වලින් කළ නිර්මාණ අත් නොහළහ; දකින්නටත්, අසන්නටත්, ඇවිදින්නටත් නොහැකි, රන්, රිදී, ලෝකඩ, ගල්, ලී ආදියෙන් කළ රූපවලටත්, දුෂ්ටාත්මයන්ටත් නමස්කාර කිරීමෙන් වැළකී නොසිටියහ.</verse>
				<verse number="21">ඔවුන්ගේ මිනී මැරීම ද අනවින ද සල්ළාලකම් ද සොරකම් ද ගැන ඔව්හු පසුතැවී සිත් හරවා නොගත් හ.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">ඉන්පසු තවත් බලවත් දේව දුතයෙකු වලාකුළක් පැළඳ, හිස මත දේදුන්නක් දරා ස්වර්ගයෙන් බසිනු දිටිමි. ඔහුගේ මුහුණ සූර්යයා මෙන් ද ඔහුගේ කකුල් ගිනි කණු මෙන් ද විය.</verse>
				<verse number="2">ඔහුගේ අතේ දිග හළ කුඩා පොතක් විය. ඔහු සිය දකුණු පය මුහුද පිට ද වම් පය ගොඩබිම පිට ද තබා,</verse>
				<verse number="3">සිංහයෙකු ගොරවන්නාක් මෙන් මහ හඬින් මොරගැසී ය. ඔහු මොරගැසූ කල ගිගුරුම් සත ද කතා කෙළේ ය.</verse>
				<verse number="4">ඒ ගිගුරුම් සත කතා කළ විට මම ලියන්නට සැරසුණෙමි. එවිට, “ගිගුරුම් සත කී දේ රහසේ තබාගන්න; එය නොලියන්නැ”යි ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසිණි.</verse>
				<verse number="5">මුහුද පිට ද ගොඩබිම ද සිටිනු මා දුටු දේව දූතයා, ස්වර්ගය දෙසට සිය දකුණත ඔසවා,</verse>
				<verse number="6">සදහට ම ජීවත් වන, ස්වර්ගයත් එහි ඇති දේත්, පොළොවත් එහි ඇති දේත්, මුහුදත් එහි ඇති දේත් මවා වදාළ තැනැන් වහන්සේගේ නාමයෙන් දිවුරමින් මෙසේ කී ය: “තවත් පමා වීමක් නැත.</verse>
				<verse number="7">සත් වන දේව දූතයාගේ හොරණෑව පිඹීමේ වේලාව පැමිණි විට, දෙවියන් වහන්සේ තම සේවක දිවැසිවරයන්ට ප්‍රකාශ කළ ලෙස, උන් වහන්සේගේ අබිරහස සම්පූර්ණ වනු ඇත.”</verse>
				<verse number="8">ස්වර්ගයෙන් ඇසුණු හඬ නැවතත් මට කතා කරමින්, “ඔබ ගොස් මුහුද පිට ද ගොඩබිම ද සිටින දේව දූතයාගේ අතේ දිගහැර තිබෙන පොත ගන්නැ”යි මට කී ය.</verse>
				<verse number="9">මම දේව දූතයා වෙත ගොස්, “කුඩා පොත මට දෙන්නැ”යි කීවෙමි. ඔහු ද: “එය රැගෙන කන්න; එයින් ඔබේ ආමාශය තික්ත වන්නේ ය. එහෙත් එය ඔබේ කටෙහි මීපැණි ලෙස මිහිරි වන්නේ ය”යි මට කී ය.</verse>
				<verse number="10">මම ද දේව දූතයා අතින් කුඩා පොත රැගෙන කෑවෙමි. එය මගේ කටේ මීපැණි ලෙස මිහිරි ව තිබුණේ ය. එය කෑ පසු මාගේ ආමාශය තික්ත විය.</verse>
				<verse number="11">තවද: “ඔබ බොහෝ සෙනඟ ද ජාතීන් ද භාෂාවන් ද රජුන් ද ගැන නැවතත් දිවැස් වැකි ප්‍රකාශ කළ යුතු ය”යි මට කියන ලද්දේ ය.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">ඉන්පසු දිග සැරයටියක් වැනි කෝදුවක් මට දෙන ලද්දේ ය. “නැඟිට දෙවියන් වහන්සේගේ මාලිගාව ද පූජාසනය ද මැන, එහි නමස්කාර කරන්නන් ගණන් කරන්න.</verse>
				<verse number="2">මාලිගාවෙන් පිටත වූ මළුව විජාතීන්ට දී ඇති බැවින්, එය නොමැන අත් හරින්න. ඔව්හු සතළිස් දෙමාසයක් ශුද්ධ නගරය පයින් පාගා දමන්නෝ ය.</verse>
				<verse number="3">තවද මාගේ සාක්ෂිකාරයන් දෙදෙනා යවන්නෙමි. ඔව්හු ගෝණි රෙදි හැඳ, එක් දහස් දෙසිය සැට දවසක් දිවැස් වැකි කියන්නෝ ය”යි මට කියන ලදී.</verse>
				<verse number="4">මේ දෙදෙනා පොළොවේ සමිඳාණන් වහන්සේ ඉදිරිපිට තිබෙන ඔලීව ගස් දෙක ද පහන් රුක් දෙක ද වෙයි.</verse>
				<verse number="5">යමෙක් ඔවුන්ට අනතුරු කරන්නට සිතන්නේ නම්, ඔවුන්ගේ කටින් ගිනි නික්ම විත් ඔවුන්ගේ සතුරන් විනාශ කරයි. ඔවුන්ට අනතුරු කරන්නට සිතන තැනැත්තේ, මෙලෙස මරනු ලබන්නේ ය.</verse>
				<verse number="6">තමන් දිවැස් වැකි පවසන කාලයේ දී වැසි නොවසින ලෙස අහස් තලය වසන්නට මොවුන්ට බලය ඇත. ජලය ලේ කිරීමටත්, සියලු වසංගතවලින් පොළොවට කැමැති විටක පහර දීමටත් ඔවුන්ට බලය ඇත.</verse>
				<verse number="7">ඔවුන් තමන්ගේ සාක්ෂිය නිම කළ විට පාතාලයෙන් නැඟී එන මෘගයා ඔවුන්ට විරුද්ධ ව සටන් කොට, ඔවුන් පරාජය කර මරාදමන්නේ ය.</verse>
				<verse number="8">ඔවුන්ගේ මළකඳන්, උපමා අර්ථයෙන් සොදොම් නොහොත් මිසරය යයි කියන, ඔවුන්ගේ සමිඳාණන් වහන්සේ කුරුසියෙහි ඇණ ගැසූ, මහා නුවර වීදියෙහි හෙළනු ලබන්නේ ය.</verse>
				<verse number="9">සියලු සෙනඟගෙන් ද ගෝත්‍රයන්ගෙන් ද භාෂාවන්ගෙන් ද ජාතීන්ගෙන් ද මනුෂ්‍යයෝ ඔවුන්ගේ මළකඳන් දෙස දවස් තුනහමාරක් බලා සිටිමින් ඒවා සොහොනක තබන්නට ඉඩ නොදෙති.</verse>
				<verse number="10">ඒ දිවැසිවරුන් දෙදෙනා මිහි පිට වැසියන්ට පීඩා කළ බැවින්, ඔව්හු ප්‍රීති සන්තෝෂ වෙමින් තමන් අතරේ තෑගි හුවමාරු කරගන්නාහ.</verse>
				<verse number="11">ඒ දවස් තුනහමාරට පසු දෙවියන් වහන්සේ කෙරෙන් ජීවන හුස්ම ඔවුන් තුළට පැමිණි විට ඔව්හු නැඟිට සිටියෝ ය. ඔවුන් දුටු අය බොහෝ සේ බියපත් වූ හ.</verse>
				<verse number="12">“නැඟිට මෙහි එන්නැ”යි කියන මහ හඬක් ස්වර්ගයෙන් ඔවුන්ට ඇසිණි. එකල ඔවුන්ගේ සතුරන් බලා සිටිය දී ඔව්හු වලාකුළකින් ස්වර්ගයට නැඟී ගියහ.</verse>
				<verse number="13">ඒ ඇසිල්ලෙහි ම මහා භූමිකම්පාවක් ඇති විය. නුවරෙන් දසයෙන් කොටසක් බිඳ වැටිණි. භූමිකම්පාවෙන් මනුෂ්‍යයෝ සත් දහසක් මළහ. ඉතිරි අය බියෙන් ඇලළී ස්වර්ගයේ දෙවියන් වහන්සේට ගෞරවය පිරිනැමූ හ.</verse>
				<verse number="14">දෙ වන විපත පහ විය; මෙන්න තුන් වන විපත වහා එන්නේ ය.</verse>
				<verse number="15">සත් වන දේව දූතයා ද හොරණෑව පිම්බේ ය. එවිට: “ලෝකයේ රාජත්වය අපගේ සමිඳාණන් වහන්සේට ද උන් වහන්සේගේ ආලේප ලත් ක්‍රිස්තුන් වහන්සේට ද අත් විය. උන් වහන්සේ සදහට ම රජකම් කරන සේකැ”යි කියන මහ ශබ්ද ස්වර්ගයෙහි විය.</verse>
				<verse number="16">දෙවියන් වහන්සේ ඉදිරියෙහි තමන්ගේ සිහසුන්වල හුන් කුලදෙටුවෝ විසි හතර දෙනා මුහුණින් වැටී, දෙවියන් වහන්සේට නමස්කාර කර මෙසේ කී හ:</verse>
				<verse number="17">“වැඩ සිටින, වැඩ සිටිය, සර්ව පරාක්‍රම දෙවි සමිඳාණන් වහන්ස, ඔබගේ අතිමහත් බලය මෙහෙයවා ඔබ රජකම් කළ බැවින් අපි ඔබට ස්තුති කරමු.</verse>
				<verse number="18">
					මනුෂ්‍ය ජාතීහු කෝපාවිෂ්ට වූ හ.
					ඔබගේ උදහස ද මළවුන් විනිශ්චය කිරීමේ කාලය ද දැන් පැමිණ තිබේ. ඔබගේ සේවක දිවැසිවරයන්ට හා සැදැහැවතුන්ට ද ඔබගේ නාමයට භය වන ලොකු කුඩා සියල්ලන්ට ද විපාක දීමටත් පොළොව වනසන්නන් වැනසීමටත් කාලය පැමිණ තිබේ.”
				</verse>
				<verse number="19">එවිට ස්වර්ගයෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව විවෘත කරන ලද්දේ ය. උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මාලිගාව තුළ පෙනුණේ ය. එවිට විදුලි කෙටීම් ද ශබ්ද ද ගිගුරුම් ද භූමිකම්පාවක් ද, මහ ගල් වර්ෂාවක් ද විය.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">තවද අහසෙහි පුදුම ලකුණක් විය. එනම්, සූර්යයා පැළඳගෙන, පාද යට සඳ මඬල ද හිස මත තාරකා දොළසකින් යුත් කිරුළක් ද ඇති ස්ත්‍රියකි.</verse>
				<verse number="2">ගැබ්ගෙන සිටි ඈ, විළිරුජා විඳිමින් ප්‍රසව වේදනාවෙන් කෑගැසුවා ය.</verse>
				<verse number="3">අහසෙහි තවත් පුදුම දර්ශනයක් විය. හිස් සතක් ද අං දසයක් ද තමන් හිස් මත කිරුළු සතක් ද ඇති මහා රතු මකරෙකි.</verse>
				<verse number="4">ඌ උගේ වලිගයෙන් අහසේ තරුවලින් තුනෙන් කොටසක් ඇද, පොළවට හෙළී ය. උපන් කෙණෙහිම දරුවා කාදමන පිණිස, මකරා ප්‍රසව වේදනාවෙන් සිටි ස්ත්‍රිය ඉදිරියෙහි සූදානම් ව බලා සිටියේ ය.</verse>
				<verse number="5">ස්ත්‍රිය ඒ සියලු මනුෂ්‍ය ජාතීන් යගදාවකින් ආණ්ඩු කරන පිරිමි දරුවෙකු ප්‍රසූත කළා ය. ඇගේ දරුවා දෙවියන් වහන්සේ හා උන් වහන්සේගේ සිංහාසනය වෙත ඇදගෙන යනු ලැබී ය.</verse>
				<verse number="6">ස්ත්‍රිය කාන්තාරයට පලා ගියා ය. එක් දහස් දෙසිය සැට දවසක් ඇය පෝෂණය කරන පිණිස දෙවියන් වහන්සේ විසින් පිළියෙළ කරන ලද ස්ථානයක් ඈට එහි විය.</verse>
				<verse number="7">තවද ස්වර්ගයෙහි යුද්ධයක් විය. මිකායෙල් හා ඔහුගේ දූතයෝ මකරාට විරුද්ධ ව සටන් කළහ.</verse>
				<verse number="8">මකරා ද තමාගේ දූතයන් පිරිවරා සටන් කොට පරාජය විය. ඔවුන්ට ස්වර්ගයෙහි තැනක් තවත් නො වී ය.</verse>
				<verse number="9">මහා මකරා පලවා හරින ලදී. ඔහු නම් මුළු ලොව රැවටූ යක්ෂයා හෙවත් සාතන් යයි නම් ලත්, ආදි සර්පයා ය. ඔහු සමඟ ඔහුගේ දූතයෝ ද පොළොවට හෙළනු ලැබුවෝ ය.</verse>
				<verse number="10">ඉන්පසු ස්වර්ගයෙහි මෙසේ කියන මහ හඬක් මට ඇසිණි; එනම්, “අපේ දෙවියන් වහන්සේගේ ගැළවීම ද බලය ද රාජ්‍යය ද ස්වකීය ක්‍රිස්තුන් වහන්සේගේ අධිපතිකම ද දැන් පැමිණ ඇත. මන්ද, අපේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි දිවා රෑ දෙක්හි අපගේ සහෝදරයන්ට චෝදනා කරන පැමිණිලිකාරයා පහතට හෙළන ලදි.</verse>
				<verse number="11">ඔව්හු බැටළු පෝතකයාණන්ගේ යාගික රුධිරය නිසා ද, තමන් සාක්ෂි දැරූ පණිවුඩය නිසා ද ඔහුගෙන් ජය ගත්තෝ ය. මන්ද, ඔව්හු මරණයට වත් බිය නොවී දිවි දීමට සූදානම් ව සිටියහ.</verse>
				<verse number="12">එබැවින් ස්වර්ගයෙනි, එහි වැසියෙනි, ප්‍රීති සන්තෝෂ වන්න. අහෝ! පොළොවටත් මුහුදටත් වන විපත! මන්ද, යක්ෂයා තමාට වැඩි කලක් නැති බව දැන, කෝපාවිෂ්ට ව, ඔබ වෙත බැස ගියේ ය” යනු යි.</verse>
				<verse number="13">තමා පොළොවට හෙළනු ලැබූ බව දුටු මකරා, පිරිමි දරුවා ප්‍රසූත කළ ස්ත්‍රිය ලුහුබැඳ ගියේ ය.</verse>
				<verse number="14">එහෙත් මරුකතරෙහි ඇගේ රක්ෂස්ථානයට සර්පයා වෙතින් පියාඹා යන පිණිස මහා රාජාලියෙකුගේ පියාපත් දෙක ඇයට දෙන ලදි. එහි කාලයක් ද කාල දෙකක් ද අර්ධ කාලයක් ද ඈ පෝෂණය කරනු ලබයි.</verse>
				<verse number="15">එවිට සර්පයා ඒ ස්ත්‍රිය සැඬ පාරෙන් ගසාගෙන යන පිණිස, ඇය පස්සෙන් ගංගාවක් මෙන් තමාගේ කටින් වතුර පිට කෙළේ ය.</verse>
				<verse number="16">එහෙත් පොළොව ස්ත්‍රියට පිහිට වී, කට ඇර, මකරා තමාගේ කටින් පිට කළ ගංගාව ගිලගත්තා ය.</verse>
				<verse number="17">එවිට මකරා ස්ත්‍රිය කෙරෙහි කෝපයෙන් දිලිහී දෙවියන් වහන්සේගේ ආඥා පිළිපදින, ජේසුස් වහන්සේගේ සාක්ෂිය දරන ඇගේ වංශයේ ඉතිරි අයට විරුද්ධ ව සටනට ගියේ ය.</verse>
				<verse number="18">ඔහු මුහුදු වෙරළෙහි සිටියේ ය.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">එවිට අං දසයක් ද හිස් සතක් ද ඇති මෘගයෙකු මුහුදෙන් මතු වී එනු දිටිමි. උගේ අං පිට කිරුළු දසයක් ද උගේ හිස්වල දේවාපහාස නාම ද තිබිණි.</verse>
				<verse number="2">මා දුටු මෘගයා අඳුන් දිවියෙකුට සමාන ය. උගේ පාද වලසෙකුගේ පාද වැනි ය. උගේ කට සිංහයෙකුගේ කට වැනි ය. මකරා සිය පරාක්‍රමය ද සිංහාසනය ද මහා අධිපතිකම ද ඌට දුන්නේ ය.</verse>
				<verse number="3">උගේ හිස්වලින් එකක මාරක තුවාළයක් තිබෙන්නාක් මෙන් පෙනිණි; එහෙත් උගේ මාරක තුවාළය සුව වී තිබිණි. මුළු ලෝකයා මවිත වෙමින් මෘගයා පසුපස්සේ ගියෝ ය.</verse>
				<verse number="4">මකරා මෘගයාට අධිපතිකම පැවරූ නිසා ඔව්හු මකරාට නමස්කාර කළහ. ඔව්හු මෘගයාටත් නමස්කාර කොට, “මෘගයාට සමාන කවරෙක් ද? ඌ හා සමඟ සටන් කිරීමට කවරෙකුට හැකි දැ”යි කී හ.</verse>
				<verse number="5">අහංකාර වචන ද දේව අපහාස ද තෙපලීමට කටක් ඌට දෙන ලදි. තවද මාස සතළිස් දෙකක් තමා කැමැති සේ ක්‍රියා කිරීමට ඌට බලය දෙන ලද්දේ ය.</verse>
				<verse number="6">එකල ඌ දේවාපහාස කීමට ද, උන් වහන්සේගේ නාමයටත් වාසස්ථානයටත් ස්වර්ග වාසීන්ටත් විරුද්ධ ව අපහාස කීමට ද මුඛය ඇරියේ ය.</verse>
				<verse number="7">තවද, සැදැහැවතුන්ට විරුද්ධ ව සටන් කරන්නට ද ඔවුන්ගෙන් ජයගන්නට ද ඌට ඉඩ දෙන ලදී. සියලු ගෝත්‍රයන් ද සෙනඟ ද භාෂාවන් ද ජාතීන් ද කෙරෙහි බලය ද ඌට දෙන ලද්දේ ය.</verse>
				<verse number="8">මරණයට පත් කරන ලද, බැටළු පෝතකයාණන්ගේ ජීවන පොතේ ලෝකාරම්භයේ සිට නාම නොලියන ලද මිහි පිට සියලු පොළෝ වාසීහු ඌට නමස්කාර කරන්නෝ ය.</verse>
				<verse number="9">කන් ඇත්තේ අසා වා!</verse>
				<verse number="10">වහල්කමට නියම තැනැත්තාට වහල්කම නියත ය. කඩුවෙන් මරන්නා, කඩුවෙන් ම මැරිය යුතු ය. සැදැහැවතුන්ට ඉවසිල්ලත් ඇදහීමත් අවශ්‍ය වන්නේ මේ නිසා ය.</verse>
				<verse number="11">එවිට තවත් මෘගයෙකු පොළොවෙන් නැඟී එනු දිටිමි. බැටළු පැටවෙකුට මෙන් අං දෙකක් ඌට තිබිණි. ඌ මකරෙකු මෙන් කතා කෙළේ ය.</verse>
				<verse number="12">ඌ පළමු වැනි මෘගයාගෙන් ආධිපත්‍යය ලබා, එය ඒ මෘගයා ඉදිරියෙහි මෙහෙය වී ය. මාරක තුවාළයෙන් සුවය ලැබූ පළමු වන මෘගයාට නමස්කාර කිරීමට ඌ පොළොවට හා එහි වැසියන්ට බල කෙළේ ය.</verse>
				<verse number="13">සියලු මිනිසුන් ඉදිරියෙහි අහසින් පොළොවට ගිනි බස්වන තරම් මහා හාස්කම් කෙළේ ය.</verse>
				<verse number="14">මෘගයා ඉදිරියෙහි කරන්නට ඉඩ දෙන ලද හාස්කම් මඟින් ඌ ලෝවැසියන් මුළා කෙළේ ය. කඩුපහර ලැබූ නමුත් තවමත් ජීවත් වන මෘගයා සඳහා රූපයක් පිහිටුවීමට පොළෝ වැසි සියල්ලන්ට ඌ නියම කෙළේ ය.</verse>
				<verse number="15">ඒ ඇර කතා කරන පිණිස මෘගයාගේ රූපයට පණ දෙන්නටත්, මෘගයාගේ රූපයට නමස්කාර නොකරන සියල්ලන්ට මරණය සලසන්නටත් ඌට බලය ලැබුණේ ය.</verse>
				<verse number="16">තවද, ඌ ලොකු කුඩා, දුප්පත් පොහොසත්, දාස නිර්දාස යන සියල්ලන්ට තමන්ගේ දකුණතේ හෝ නළලේ හෝ සලකුණක් ලබන්නට සැලැස්වී ය;</verse>
				<verse number="17">ඒ සලකුණ වන මෘගයාගේ නාමය හෝ උගේ නාමය අඟවන අංකය හෝ ඇත්තාට මිස, අන් කිසිවෙකුට මිලයට ගන්නට වත් විකුණන්නට වත් ඉඩක් නොතැබී ය.</verse>
				<verse number="18">නැණනුවණ අවශ්‍ය වන්නේ මෙතැන දී ය. නුවණැත්තා, මෘගයාගේ අංකය ගණන් බලා දැනගනී වා. මන්ද, එය මනුෂ්‍යයෙකුගේ නාමය දක්වයි. ඒ ගණන හයසිය හැට හයයි (666).</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">තවද, බැටළු පෝතකයාණන් ද, උන් වහන්සේ සමඟ එක් ලක්ෂ සතළිස් සාර දහස් දෙනෙකුන් ද සියොන් කන්ද මත සිටිනු දිටිමි. ඔවුන්ගේ නළල්වල උන් වහන්සේගේ නාමය ද, උන් වහන්සේගේ පියාණන්ගේ නාමය ද ලියා තිබිණි.</verse>
				<verse number="2">ගලා බසින මහා ජල ඝෝෂාවක් මෙන් ද, තද හෙණ හඬක් මෙන් ද වූ, අහසින් නික්මුණු ශබ්දයක් මට ඇසුණේ ය. මට ඇසුණ ශබ්දය වීණා වාදකයන්ගේ වාදනය මෙන් විය.</verse>
				<verse number="3">ඔව්හු සිංහාසනය ඉදිරියෙහි ද, ජීවමාන සත්ත්වයන් සතර දෙනා සහ කුලදෙටුවන් ඉදිරියෙහි ද අලුත් ගීතිකාවක් ගායනය කළහ. ඒ ගීතිකාව, පොළොවෙන් මුදාගනු ලැබූ එක් ලක්ෂ සතළිස් සාර දහස් දෙනා හැර, අන් කිසිවෙකුට ඉගෙන ගත නොහැකි විය.</verse>
				<verse number="4">ඔව්හු ස්ත්‍රී සේවනයෙන් නොකෙලෙසුණු බ්‍රහ්මචාරීහු ය. ඔව්හු, බැටළු පෝතකයාණන් යන යන තැන, උන් වහන්සේ අනුව යන්නෝ වෙති. ඔව්හු දෙවියන් වහන්සේටත්, බැටළු පෝතකයාණන්ටත් නාඹුල් පල වන පිණිස මනුෂ්‍යයන් අතරෙන් මුදා ගන්නා ලද්දෝ ය.</verse>
				<verse number="5">ඔවුන්ගේ මුඛයෙන් කවදාවත් බොරුවක් පිට නො වී ය. ඔව්හු නිර්මල ය.</verse>
				<verse number="6">පොළෝ වාසීන්ට ද සියලු ජාතීන්ට ද ගෝත්‍රයන්ට ද භාෂාවන්ට ද සෙනඟට ද ප්‍රකාශ කරන පිණිස සදාතන සුබ අස්නක් ඇති ව, මැද අහසේ පියාසර කරමින් සිටි තවත් දේව දුතයෙකු මම දිටිමි.</verse>
				<verse number="7">ඔහු මහ හඬින් මෙසේ කී ය: “දෙවියන් වහන්සේට බිය වී උන් වහන්සේට ගෞරව කරන්න. මන්ද, උන් වහන්සේගේ විනිශ්චයේ මොහොත පැමිණ ඇත. අහස හා පොළොවත්, මුහුද හා දිය උල්පතුත් මවා වදාළ තැනැන් වහන්සේට නමස්කාර කරන්න.”</verse>
				<verse number="8">ඒ දේව දූතයා පසුපසින් ගිය දෙ වන දේව දුතයෙක්: “තදබල කාමරාගය නමැති මද්‍යසාරය සියලු ජාතීන්ට පෙවූ මහා බබිලෝනිය වැටුණා ය, මහා බබිලෝනිය වැටුණා ය, වැටුණා ය”යි කී ය.</verse>
				<verse number="9">තුන් වන දේව දුතයෙක් ද, ඒ දෙදෙනා පස්සේ යමින් මහ හඬින් මෙසේ කී ය. “යමෙක් මෘගයාටත් උගේ රූපයටත් නමස්කාර කර, ඔහුගේ නළලේ හෝ අතේ හෝ ලකුණක් තබනු ලබන්නේ ද,</verse>
				<verse number="10">ඔහුත් දෙවියන් වහන්සේගේ උදහස නමැති කුසලානට වත් කරන ලද උන් වහන්සේගේ කෝපය නමැති අමිශ්‍ර මුද්‍රික පානය බොන්නේ ය. ඔහු ශුද්ධ දේව දූතයන් ඉදිරියෙහි ද, බැටළු පෝතකයාණන් ඉදිරියෙහි ද ගින්නෙන් හා ගෙන්දගම්වලින් වද වේදනා විඳින්නේ ය.</verse>
				<verse number="11">ඔවුන්ගේ වේදනාව නමැති ධූමය සදහට ම නඟින්නේ ය. මෘගයාටත් උගේ රූපයටත් නමස්කාර කරන්නෝ ද උගේ නාමයේ සලකුණ ලබන්නෝ ද දිවා රෑ දෙක්හි විවේකයක් නොලබන්නෝ ය.”</verse>
				<verse number="12">දෙවියන් වහන්සේගේ ආඥා ද, ජේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ද රක්ෂා කරන සැදැහැවතුන්ට ඉවසීම අවශ්‍ය වන්නේ මේ නිසා ය.</verse>
				<verse number="13">එවිට: “මෙතැන් පටන් සමිඳාණන් වහන්සේ තුළ නසින්නෝ භාග්‍යවන්තයෝ ය කියා ලියන්නැ”යි ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසුණේ ය. “එසේ ය, ඔව්හු තමන්ගේ වෙහෙසීම්වලින් නිවාඩු ලබති: ඔවුන්ගේ ක්‍රියා ඔවුන් කැටුව යන්නේ ය”යි ආත්මයාණන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="14">තවද සුදු වලාකුළක් ද, ඒ වලාකුළ මත සිය හිසේ රන් කිරුළක් සහ අතේ මුවහත් දෑකැත්තක් ද ඇති මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි කෙනෙකු වැඩ සිටිනු දිටිමි.</verse>
				<verse number="15">එවිට තවත් දේව දුතයෙක් දේව මාලිගාවෙන් නික්ම අවුත්, වලාකුළ පිට වැඩහුන් තැනැන් වහන්සේට මහ හඬින් මොරගසා: “ඔබ වහන්සේගේ දෑකැත්ත යොදා කැපුව මැනව; මන්ද, පොළොවේ ගොයම් හොඳට ම පැසී තිබෙන බැවින්, කපන කාලය පැමිණ ඇතැ”යි කී ය.</verse>
				<verse number="16">එවිට වලාකුළ පිට වැඩහුන් තැනැන් වහන්සේ දෑකැත්ත පොළොවෙහි දැමූ සේක. පොළොවෙහි ගොයම් කපනු ලැබී ය.</verse>
				<verse number="17">තවත් දේව දුතයෙක් ස්වර්ගයෙහි වූ දේව මාලිගාවෙන් නික්ම ආවේ ය. ඔහුට ද මුවහත් දෑකැත්තක් තිබිණි.</verse>
				<verse number="18">එවිට ගින්න බාර ව සිටි තවත් දේව දුතයෙක් පූජාසනයෙන් නික්ම අවුත්, මුවහත් දෑකැත්ත ඇති ව සිටි තැනැත්තාට මහ හඬින් මොරගසා, “ඔබේ මුවහත් දෑකැත්ත යොදා පොළොවේ මිදි වැලේ මිදි පොකුරු කපා රැස් කරන්න. මන්ද, මිදි පොකුරු ඉදී ඇතැ”යි කී ය.</verse>
				<verse number="19">දේව දූතයා තමාගේ දෑකැත්ත පොළොවෙහි යොදා, පොළොවෙහි මිදි පල රැස් කොට, දෙවියන් වහන්සේගේ උදහස නමැති මහා මිදි මිරිකන වළට හෙළී ය. නුවරින් පිටත ඒ වළේ මිදි පාගන ලදී.</verse>
				<verse number="20">එවිට කිලෝමීටර් තුන් සියයක් පමණ දුරට ද, අශ්වයෙකුගේ කටකලියාව දක්වා උසට ද, ඒ වළෙන් ලේ ගලා ගියේ ය.</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">ස්වර්ගයෙහි තවත් විස්මයජනක මහා ලකුණක් දිටිමි. දේව දූතයෝ සත් දෙනෙක් වසංගත සතක් රැගෙන සිටියෝ ය. මේවායින් දෙවියන් වහන්සේගේ උදහස අවසාන වන බැවින්, ඒවා අන්තිම වසංගත වේ.</verse>
				<verse number="2">ගිනි මුසු වීදුරු සාගරයක් වැනි දෙයක් ද, මෘගයාගෙනුත්, උගේ රූපයෙනුත්, උගේ නාමයේ සංබ්‍යාවෙනුත් දැක්වෙන ජයගත් අය, දෙවියන් වහන්සේගේ වීණා රැගෙන වීදුරු සාගරය ළඟ සිටිනු දිටිමි.</verse>
				<verse number="3">ඔව්හු දෙවියන් වහන්සේගේ සේවකයා වූ මෝසෙස්ගේ ගීතිකාව ද බැටළු පෝතකයාණන්ගේ ගීතිකාව ද ගායනා කරමින් මෙසේ කී හ: “සව් බලැති ස්වාමීන් වන දෙවියන් වහන්ස, ඔබගේ ක්‍රියා උදාර ය, චමත්කාර ජනක ය. ජාතීන්ගේ රජාණෙනි, ඔබගේ මාර්ග සාධාරණ ය, සැබෑ ය.</verse>
				<verse number="4">
					ස්වාමීනි ඔබ වහන්සේට බිය නොවන්නේත්, ඔබ වහන්සේගේ නාමයට ගෞරව නොකරන්නේත් කවරෙක් ද?
					ඔබ වහන්සේ පමණක් සුවිශුද්ධ බැවිනි; සියලු ජාතීහු පැමිණ, ඔබ වහන්සේ ඉදිරියේ නමස්කාර කරති. මන්ද, ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියා ප්‍රකාශ කරන ලද්දේ ය.”
				</verse>
				<verse number="5">ඉන්පසු ස්වර්ගයෙහි තිබෙන සාක්ෂි මණ්ඩපය වන ඇතුළු ශුද්ධස්ථානය ඇරී,</verse>
				<verse number="6">වසංගත සතේ දේව දූතයන් සත් දෙනා පිටතට ආවෝ ය. ඔව්හු දිළිසෙන පිරිසිදු වස්ත්‍ර ඇඳ, තමන්ගේ ළයෙහි රන් පටි බැඳගෙන සිටියෝ ය.</verse>
				<verse number="7">එවිට ජීවමාන සත්ත්වයන් සතර දෙනාගෙන් එකෙක්, සදහට ම ජීවත් වන දෙවියන් වහන්සේගේ උදහසින් පිරුණු, රන් පාත්‍ර සතක් දේව දූතයන් සත් දෙනාට දුන්නේ ය.</verse>
				<verse number="8">එවිට දේව මාලිගාව දෙවියන් වහන්සේගේ තේජසින් හා බලයෙන් නික්මුණු ධූමයෙන් පිරුණේ ය. ඒ නිසා, දේව දූතයන් සත් දෙනාගේ වසංගත සත කෙළවර වන තුරු දේව මාලිගාවට ඇතුළු වීමට කිසිවෙකුට නුපුළුවන් විය.</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">“ඔබ ගොස් දෙවියන් වහන්සේගේ උදහස නමැති පාත්‍ර සත පොළොව පිට වගුරුවන්නැ”යි දේව දූතයන් සත් දෙනාට කියන මහ හඬක් දේව මාලිගාවෙන් මට ඇසිණි.</verse>
				<verse number="2">එකල පළමුවැන්නා ගොස් තමාගේ පාත්‍රය පොළොව පිට වැගිරෙව්වේ ය. එවිට මෘගයාගේ සලකුණ දැරූ අයට ද, ඔහුගේ රූපයට නමස්කාර කළ අයට ද දරුණු දුස්සාධ්‍ය වණ හටගති.</verse>
				<verse number="3">දෙවැන්නා තමාගේ පාත්‍රය මුහුද පිට වැගිරෙව්වේ ය. මුහුදේ වතුර මළ මිනියක ලේ මෙන් විය. මුහුදේ පණ ඇති සියලු සත්ත්වයෝ මළෝ ය.</verse>
				<verse number="4">තෙවැන්නා තමාගේ පාත්‍රය ගංගා සහ දිය උල්පත් පිට වැගිරෙව්වේ ය. එවිට ඒවා ලේ විය.</verse>
				<verse number="5">ජලය භාර ව සිටි දේව දූතයා කතා කොට, “වැඩ සිටින, වැඩ සිටිය, සුවිශුද්ධ තැනැන් වහන්ස, ඔබ දුන් විනිශ්චයන්හි ඔබ සාධාරණ ය.</verse>
				<verse number="6">ඔවුන් සැදැහැවතුන්ගේ ද දිවැසිවරයන්ගේ ද ලේ වැගිරෙව් බැවින්, ඔබ ඔවුන්ට ලේ බොන්නට දුන් සේක. ඔවුන්ට ලැබිය යුතු විපාකය මේ ය”යි කියනු මට ඇසිණි.</verse>
				<verse number="7">“එසේ ය, සර්ව පරාක්‍රම දෙවි ස්වාමීන් වහන්ස, ඔබගේ විනිශ්චය නිවැරැදි ය, සාධාරණ ය”යි පූජාසනයෙන් කියනු මට ඇසිණි.</verse>
				<verse number="8">එවිට සතරවැන්නා තමාගේ පාත්‍රය සූර්යයා පිට වැගිරෙව්වේ ය. ගින්නෙන් මනුෂ්‍යයන් දවාලීමේ බලය ඊට දෙන ලද්දේ ය.</verse>
				<verse number="9">මනුෂ්‍යයෝ අධික උෂ්ණයකින් දවනු ලැබ, මේ වසංගත කෙරෙහි බලය ඇති දෙවියන් වහන්සේගේ නාමයට සාප කළා මිස, උන් වහන්සේට ගෞරවය දෙන පිණිස පසුතැවී සිත් හරවා නොගත් හ.</verse>
				<verse number="10">පස්වැන්නා තමාගේ පාත්‍රය මෘගයාගේ සිංහාසනය පිට වැගිරෙව්වේ ය. ඔහුගේ රාජ්‍යය අඳුරින් වැසී ගියේ ය. ඔව්හු වේදනා නිසා දිව් විකාගත්හ.</verse>
				<verse number="11">ඔව්හු තමන්ගේ තුවාළ හා වේදනා නිසා ස්වර්ගයේ දෙවියන් වහන්සේට සාප කළා මිස, තමන්ගේ ක්‍රියා ගැන පසුතැවී සිත් හරවා නොගත් හ.</verse>
				<verse number="12">සවැන්නා තමාගේ පාත්‍රය යුප්‍රටීස් නම් මහා ගංගාව පිට වැගිරෙව්වේ ය. එවිට පෙරදිගින් එන රජවරුන්ට මාර්ගයක් පෑදෙන පිණිස එහි වතුර සිඳී ගියේ ය.</verse>
				<verse number="13">එකල මකරාගේ කටින් ද, මෘගයාගේ කටින් ද, බොරු දිවැසිවරයාගේ කටින් ද මැඩියන් වැනි අශුද්ධාත්මයන් තුන් දෙනෙකු නික්ම එනු මම දිටිමි.</verse>
				<verse number="14">ඔව්හු හාස්කම් කරන දුෂ්ටාත්මයෝ ය. ඔව්හු සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ මහා දවසේ යුද්ධයට මුළු ලෝකයේ රජවරුන් රැස් කරන පිණිස ඔවුන් වෙත යන්නාහ.</verse>
				<verse number="15">“මෙන්න! මම සොරෙකු මෙන් එමි. නග්න ව ඇවිද, තමාගේ විළිලජ්ජාව මිනිසුන්ට නොපෙනෙන පිණිස අවදි ව සිට තමාගේ වස්ත්‍ර ආරක්ෂා කරගන්නා භාග්‍යවන්තයෙකි.”</verse>
				<verse number="16">මෙලෙස ඔව්හු හෙබ්‍රෙව් බසින් ආර්මගිදොන් නම් වූ ස්ථානයට රජවරුන් රැස් කළහ.</verse>
				<verse number="17">සත්වැන්නා ද තමාගේ පාත්‍රය අහසෙහි වැගිරෙව්වේ ය. එවිට, “අවසානය පැමිණ ඇතැ”යි කියන මහ හඬක් දේව මාලිගාවේ සිංහාසනයෙන් නික්මිණි.</verse>
				<verse number="18">විදුලිය කෙටීම් ද ශබ්ද ද හෙණ හඬ ද විය. මහා භූමිකම්පාවක් ද විය. පොළොවේ මනුෂ්‍යයන් බිහි වූ දා පටන් ඒ සා බලවත්, මහා භූමිකම්පාවක් ඇති නො වී ය.</verse>
				<verse number="19">ඒ මහා නගරය තුන් කොටසකට කැඩී ගියේ ය. ජාතීන්ගේ නගර ඇද වැටිණි. දෙවියන් වහන්සේ මහා බබිලෝනිය අමතක නොකර, සිය උදහසේ දරුණුකම නමැති මිදියුස පාත්‍රය පානය කිරීමට ඈට දුන් සේක.</verse>
				<verse number="20">සියලු දිවයින් අතුරුදහන් විය. කඳු නොපෙනී ගියේ ය.</verse>
				<verse number="21">අහසින් මහත් ගල් වර්ෂාවක් මනුෂ්‍යයන් පිට වැස්සේ ය. එහි එක එක ගල කිලෝග්‍රෑම් පණහක් පමණ බර විය. ඒ ගල් වර්ෂා වසංගතය එතරම් දරුණු වූ බැවින් මනුෂ්‍යයෝ දෙවියන් වහන්සේට සාප කළහ.</verse>
			</chapter>
			<chapter number="17">
				<verse number="1">පාත්‍ර සත දැරූ දේව දූතයන් සත් දෙනාගෙන් එක් කෙනෙක් අවුත් මට කතා කොට, “මෙහි එන්න, බොහෝ ජල පිට හිඳින මහා වේශ්‍යාවගේ විනිශ්චය ඔබට පෙන්වන්නෙමි.</verse>
				<verse number="2">පොළොවේ රජවරු ඈ සමඟ වේශ්‍යාකම් කළෝ ය. පොළොවේ වැසියෝ ද ඇගේ වේශ්‍යාකම් නමැති මුද්‍රික පානයෙන් මත් වුණෝ ය”යි කීවේ ය.</verse>
				<verse number="3">දේව දූතයා ආත්මයාණන්ගේ ආනුභාවයෙන් මරුකතරකට මා ගෙන ගියේ ය. එහි රතු ම රතු මෘගයෙකු පිට ස්ත්‍රියක වාඩි වී සිටිනු මම දිටීමි. ඒ මෘගයා දේවාපහාස නාමවලින් පිරී සිටියේ ය. ඌට හිස් සතක් ද අං දසයක් ද විය.</verse>
				<verse number="4">ඒ ස්ත්‍රිය රත්නිල් හා තද රතු වස්ත්‍ර හැඳ රන්, මුතු, මැණික් ආභරණවලින් සැරසී සිටියා ය. පිළිකුල්කමින් ද ඇගේ අශික්ෂිත වේශ්‍යාකමින් ද පිරුණු රන් කුසලානක් ඈ අතේ විය.</verse>
				<verse number="5">ඇගේ නළල පිට: “මහා බබිලෝනිය, පොළොවේ වේශ්‍යාවන්ගේ ද පිළිකුල්කම් වල ද මව” යන ගුප්ත නාමයක් ලියා තිබිණි.</verse>
				<verse number="6">ඒ ස්ත්‍රිය සැදැහැවතුන්ගේ ද, ජේසුස් වහන්සේ නමින් දිවි පිදූවන්ගේ ද ලෙයින් මත් ව සිටියා ය. ඈ දුටු විට මම අතිශයින් පුදුම වීමි.</verse>
				<verse number="7">දේව දූතයා මට කතා කොට, “ඔබ පුදුම වූයේ මන් ද? ස්ත්‍රියගේ ද, ඇය උසුලාගෙන යන හිස් සතක් හා අං දසයක් ඇති මෘගයාගේ ද, අබිරහස ඔබට කියමි”යි පැවසී ය.</verse>
				<verse number="8">ඔබ දුටු මෘගයා වරක් ජීවත් ව සිටියේ ය. දැන් නැත. ඌ පාතාලයෙන් නැඟී එන්නට ද විනාශයට යන්නට ද සිටින්නේ ය. ලෝකාරම්භයේ සිට ජීවන පොතෙහි නම් නොලියවුණු පොළොවෙහි වාසය කරන්නෝ, මෘගයා සිටි හැටිත්, දැන් නැති හැටිත්, මතු එන හැටිත් දැක පුදුම වන්නෝ ය.</verse>
				<verse number="9">“නැණනුවණ අවශ්‍ය වන්නේ මෙතැන දී ය. හිස් සත නම් ස්ත්‍රිය වාඩි වී සිටින කඳු සත ය. තවද ඒ හිස් සත රජවරු සත් දෙනෙකි.</verse>
				<verse number="10">පස් දෙනෙක් මළාහ, එක් කෙනෙක් තව ම සිටින්නේ ය, අනෙක් තැනැත්තා තව ම පැමිණියේ නැත. ඔහු පැමිණි කල ටික කලක් පමණක් සිටිය යුතු ය.</verse>
				<verse number="11">ජීවත් ව සිටියා වූ ද දැන් නැත්තා වූ ද මෘගයා, සත් දෙනාගෙන් එකෙකු වන අතර, අටවැනියෙක් ද වේ. ඔහු විනාශයට යන්නේ ය.</verse>
				<verse number="12">“ඔබ දුටු අං දසය නම් තව ම රජකම නොලත් රජවරු දස දෙනෙකි. එහෙත් ඔව්හු මෘගයා සමඟ එක පැයකට පමණක් රජවරුන් ලෙස රාජ බලය ලබන්නෝ ය.</verse>
				<verse number="13">මොවුහු එක ම අරමුණක් ඇති ව, තමන්ගේ පරාක්‍රමයත් බලයත් මෘගයාට දෙති.</verse>
				<verse number="14">මොවුහු බැටළු පෝතකයාණන්ට විරුද්ධ ව යුද්ධ කරන්නාහ. එහෙත් බැටළු පෝතකයාණෝ ඔවුන් පරාජය කරන සේක. මන්ද, උන් වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමීන් වහන්සේ ය; රජවරුන්ගේ රජාණෝ ය. උන් වහන්සේ සමඟ සිටින, කැඳවාගත් තෝරාගත් විශ්වාස තැනැත්තෝ ද, ඒ ජයග්‍රහණයට පංගුකාරයෝ වන්නාහ.”</verse>
				<verse number="15">ඔහු මට තවදුරටත් කතා කොට, “වේශ්‍යාව වාඩි වී සිටි තැන ඔබ දුටු ජලය නම් මනුෂ්‍ය වර්ගයෝ ද ජනතාවෝ ද ජාතීහු ද භාෂාවෝ ද වෙති.</verse>
				<verse number="16">ඔබ දුටු අං දසය හා මෘගයා නම් වේශ්‍යාවට වෛර බැඳ, ඈ සහමුලින් ම නග්න කර, ඇගේ මාංස කා, ඈ මුළුමනින් ගින්නෙන් දවන අය වෙති.</verse>
				<verse number="17">මන්ද, දෙවියන් වහන්සේගේ වචනය ඉෂ්ට වන තුරු උන් වහන්සේගේ කැමැත්ත කිරීමට, තමන්ගේ රාජ්‍යය එක්සිත් ව මෘගයාට දෙන ලෙස, උන් වහන්සේ ඔවුන්ගේ සිත් කැමැති කරවූ සේක.</verse>
				<verse number="18">ඔබ දුටු ස්ත්‍රිය නම් පොළොවේ රජුන් කෙරෙහි රජකම් කරන මහා නගරය”යි කීවේ ය.</verse>
			</chapter>
			<chapter number="18">
				<verse number="1">ඉන්පසු තවත් දේව දුතයෙකු මහා බලයෙන් යුක්ත ව ස්වර්ගයෙන් බැස එනු දිටිමි; ඔහුගේ තේජශ්‍රීයෙන් පොළොව ඒකාලෝක විය.</verse>
				<verse number="2">ඔහු මහ හඬින් මොරගසා, “මහා බබිලෝනිය වැටුණා ය, මහා බබිලෝනිය වැටුණා ය. ඈ දුෂ්ටාත්මයන්ගේ වාසභවනයක් ද, සියලු අශුද්ධාත්මයන්ගේත් සියලු තුච්ඡ පිළිකුල් පක්ෂීන්ගේත් හිරගෙයක් ද වූවා ය.</verse>
				<verse number="3">මන්ද, සියලු ජාතීහු ඇගේ තදබල කාමරාගය නමැති මද්‍යසාරය පානය කළහ. මිහි පිට රජවරු ඈ සමඟ කාමමිථ්‍යාචාරය කළහ. දේශාන්තර වෙළෙන්දෝ ඇගේ සැප ජීවිකාවේ අධිකකමින් ධනවත් වූ හ”යි කී ය.</verse>
				<verse number="4">තවද, මෙසේ කියන හඬක් ස්වර්ගයෙන් මට ඇසිණි: “මාගේ සෙනඟෙනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ වංසගතවලට අසු නොවන පිණිසත් ඇගෙන් ඉවත් ව එන්න.</verse>
				<verse number="5">
					මන්ද, ඇගේ පාප අහස උසට ගොඩ ගැසී ඇත.
					දෙවියන් වහන්සේ ඇගේ අපරාධ අමතක නොකළ සේක.
				</verse>
				<verse number="6">
					ඈ කළ ලෙස ම ඈටත් කරන්න.
					ඇගේ ක්‍රියා අනුව දෙගුණයක් ඈට දෙන්න. ඈ මිශ්‍ර කර දුන් පාත්‍රය දෙගුණයකින් දැඩි කර ඈට දෙන්න.
				</verse>
				<verse number="7">
					ඇගේ ආත්ම වර්ණනාවේ හා සැප ජීවිකාවේ ප්‍රමාණයට, ඈට ශෝකය ද වද වේදනා ද දෙන්න.
					මන්ද, ‘මම රැජිනක් ව වැජඹෙමි, මම වැන්දඹුවක් නොවෙමි, ශෝකය කිසි දිනක නොවිඳිමි’යි ඈ තමාට ම කියා ගන්නී ය.
				</verse>
				<verse number="8">එබැවින්, මාරක රෝග ද ශෝකය ද සාගතය ද යන ඇගේ පීඩා එක දවසේ ම ඈට පැමිණෙන්නේ ය. ඈ සහමුලින් ම ගින්නෙන් දවනු ලබන්නී ය. මන්ද, ඈ විනිශ්චය කළ දෙවි ස්වාමීන් වහන්සේ බලසම්පන්න ය.”</verse>
				<verse number="9">ඈ සමඟ කාමමිථ්‍යාචාරය කළ, සැප ජීවිකාවෙන් විසූ පොළොවේ රජවරු ඈ දවාලන ගින්නේ දුම දකින කල,</verse>
				<verse number="10">ඇගේ වේදනාවට බයින් ඈතින් සිට, “අහෝ! අහෝ! බබිලෝනිය නම් මහා නුවර! බලවත් නුවර! එක පැයකින් තිගේ විනාශය පැමිණියේ ය”යි කියමින් හඬා වැලපෙති.</verse>
				<verse number="11">කිසිවෙකු තමන්ගේ වෙළඳ භාණ්ඩ තවදුරටත් මිල දී නොගන්නා බැවින්, දේශාන්තර වෙළෙන්දෝ ඈ ගැන හඬා ශෝක වෙති.</verse>
				<verse number="12">ඒ බඩු නම්, රන් රිදී භාණ්ඩ, මුතු මැණික්, සිනිඳු රෙදි, රත්නිල් වස්ත්‍ර, පට රෙදි, රතු විල්ලූද, නා නා විධ සුවඳ දැව, ඇත් දත් බඩු, ඉතා අනර්ඝ ලීයෙන් ද ලෝකඩින් ද යකඩින් ද කිරිගරුඬෙන් ද සෑදූ විවිධ බඩු,</verse>
				<verse number="13">කුරුඳු, කුළු බඩු, සුගන්ධ ද්‍රව්‍ය, සුගන්ධ රස, තුවරලා, මුද්‍රික පානය, තෙල්, සිහින් පිටි, ධාන්‍ය, මහිෂයන්, බැටළුවන්, අසුන් සහ රථ, වහලුන් හා මිනිස් ජීවිත යන මේවා ය.</verse>
				<verse number="14">“තී හදින් පැතූ යසඉසුරු තී කෙරෙන් පහ වී ගියේ ය. තිගේ සුඛෝපභෝගී බව හා මනා පෙනුම යළි නොඑන සේ සදහට ම විනාශ වී ඇතැ”යි ඔව්හු කියති.</verse>
				<verse number="15">ඈ නිසා ධනවත් වූ, මේ බඩු විකුණූ වෙළෙන්දෝ ඈ විඳින දුක් පීඩාවට බයින් තැතිගෙන ඈතින් සිට:</verse>
				<verse number="16">“අහෝ! අහෝ! මහා නුවර! සිනිඳු රෙදි, රත්නිල් හා රතු විල්ලූ ද හැඳ, රන් හා මුතු මැණික්වලින් සැරසුණු නුවර!</verse>
				<verse number="17">එක පැයකින් මෙපමණ මහා ධන සම්භාරයක් නැති වී ගිය හැටි!”යි කියමින් හඬා වැලපෙති. සියලු නැව්පතියෝ ද මගීහු ද නාවිකයෝ ද මුහුදෙන් ජීවිකාව කරගන්නෝ ද, ඈතින් සිට, ඈ දවාලන ගින්නේ දුම දැක,</verse>
				<verse number="18">“මේ මහත් නුවරට සමාන නුවරක් තවත් ඇත් දැ”යි කියමින් මොරගැසූ හ.</verse>
				<verse number="19">ඔව්හු තමන්ගේ හිස් මත ධූලි දමාගෙන, හඬා වැලපෙමින්, “අහෝ! අහෝ! ඒ මහා නුවර! ඇගේ වස්තුව හේතුකොටගෙන මුහුදේ නැව් ඇති සියල්ලෝ ඇගෙන් ධනවත් වූ හ. එක පැයකින් ඈ නැතිනාස්ති වී ගිය හැටි”යි කියා මොරගැසුවෝ ය.</verse>
				<verse number="20">ස්වර්ගයෙනි, සැදැහැවතුනි, ප්‍රේරිතවරුනි, දිවැසිවරුනි, ඒ ගැන ප්‍රීති වන්න! මන්ද, ඈ ඔබට කළ වරද ගැන දෙවියන් වහන්සේ ඈ විනිශ්චය කළ සේක.</verse>
				<verse number="21">එවිට බලසම්පන්න දේව දුතයෙක් මහා ඇඹරුම් ගලක් වැනි ගලක් ගෙන, මෙසේ කියමින්, එය මුහුදේ හෙළී ය: “මෙලෙස ඒ මහා නුවර වූ බබිලෝනිය දරුණු අයුරින් හෙළාදමනු ලබන්නේ ය. එය නැත්තට ම නැති වී යයි.</verse>
				<verse number="22">වීණා වාදකයන්ගේ ද ගන්ධර්වයන්ගේ ද නළාකාරයන්ගේ ද හොරණෑකාරයන්ගේ ද ගීත නාදය තී තුළ තවත් නොඇසේ; කොයි ආකාර කර්මාන්ත කාරයෙක් වත් තී තුළ තවත් දකිනු නොලැබේ. ඇඹරුම් ගලේ හඬ තී තුළ තවත් නොඇසේ.</verse>
				<verse number="23">පහනක එළිය තී තුළ තවත් නොබැබළෙයි. මනාලයාගේත් මනාලියගේත් හඬ තී තුළ තවත් නොඇසේ. තීගේ වෙළෙන්දෝ පොළොවේ උත්තමයෝ ව සිටියෝ ය. තීගේ අනවිනවලින් සියලු ජාතීහු මුළා කරනු ලැබුවෝ ය.</verse>
				<verse number="24">දිවැසිවරයන්ගේ ද සැදැහැවතුන්ගේ ද මිහි පිට මරනු ලැබූ සියල්ලන්ගේ ද ලේ, ඈ තුළ දක්නා ලදී.”</verse>
			</chapter>
			<chapter number="19">
				<verse number="1">ඉන්පසු ස්වර්ගයේ විශාල පිරිසකගේ මහා හඬක් මට ඇසිණි. ඔව්හු මෙසේ කී හ: “අලේලූයා! විමුක්තිය ද මහිමය ද බලය ද අපගේ දෙවියන් වහන්සේට හිමි ය.</verse>
				<verse number="2">මන්ද, උන් වහන්සේගේ විනිශ්චය නිවැරදි ය, සාධාරණ ය, සිය වේශ්‍යාකමින් පොළොව දූෂණය කළ ප්‍රසිද්ධ වේශ්‍යාව උන් වහන්සේ විනිශ්චය කළ සේක. තමන් වහන්සේගේ මෙහෙකරුවන් මැරීම ගැන ඈට විපාක දුන් සේක.”</verse>
				<verse number="3">තව වරක් ඔව්හු, “අලේලූයා! ඇගේ දුම සදහට ම නගින්නේ ය”යි කී හ.</verse>
				<verse number="4">තවද කුලදෙටුවෝ විසිහතර දෙනා ද, ජීවමාන සත්ත්වයෝ සතර දෙනා ද වැඳවැටී, “ආමෙන්, අලේලූයා” කියමින් සිංහාසනයේ වැඩහුන් දෙවියන් වහන්සේට නමස්කාර කළහ.</verse>
				<verse number="5">තවද, “අපේ දෙවියන් වහන්සේගේ සියලු සේවකයෙනි, උන් වහන්සේට බිය ඇති ලොකු කුඩා සියල්ලෙනි, උන් වහන්සේට ප්‍රශංසා කරන්නැ”යි කියන හඬක් සිංහාසනයෙන් නික්මිණි.</verse>
				<verse number="6">එවිට විශාල ජන සමූහයකගේ ඝෝෂාව මෙන් ද, සමුද්‍ර ඝෝෂාවක් මෙන් ද, බලවත් හෙන හඬක් මෙන් ද ශබ්දයක් මට ඇසිණි. ඒ හඬ මෙසේ කී ය: “අලේලූයා! අපගේ සර්ව පරාක්‍රම දෙවි ස්වාමීන් වහන්සේ රජකම් කිරීමට පටන්ගෙන ඇත.</verse>
				<verse number="7">අපි අතිශයින් ප්‍රීති සන්තෝෂවෙමු. උන් වහන්සේට ගෞරවය පිරිනමමු. මන්ද, බැටළු පෝතකයාණන්ගේ සරණ මංගල්‍යය පැමිණ ඇත. උන් වහන්සේගේ මනාලිය සැරසී සිටින්නී ය.</verse>
				<verse number="8">බැබළෙන, පිවිතුරු, සිනිඳු වස්ත්‍රයෙන් සැරසෙන්නට ඈට අවසර දී ඇත.” සිනිඳු වස්ත්‍රවලින් සැදැහැවතුන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා හඟවනු ලැබේ.</verse>
				<verse number="9">එවිට දේව දූතයා මට කතා කොට: “බැටළු පෝතකයාණන්ගේ සරණ මංගල්‍ය භෝජනයට කැඳවනු ලැබුවෝ භාග්‍යවන්තයෝ ය කියා ලියන්නැ”යි කී ය. “දෙවියන් වහන්සේගේ මේ වචන සත්‍යය”යි තවදුරටත් ඔහු මට කී ය.</verse>
				<verse number="10">එවිට නමස්කාර කරන පිණිස මම ඔහුගේ පාමුල වැටුණෙමි. එහෙත් ඔහු: “මට නමස්කාර නොකරන්න. මම, ඔබ ද ඔබේ සහෝදරයන් ද සමඟ හවුල් සේවකයෙක් වෙමි. ජේසුස් වහන්සේ දැරූ සාක්ෂිය අප හැම සතු ය. ඔබ දෙවියන් වහන්සේට පමණක් නමස්කාර කළ යුතු ය”යි මට කී ය. ඒ ජේසුස් වහන්සේ දැරූ සාක්ෂිය දිවැසිවරයන්ගේ ජීව බලය වන බැවිනි.</verse>
				<verse number="11">එවිට ස්වර්ගය ඇරී තිබෙනු දිටිමි. එහි සුදු අශ්වයෙක් සිටියේ ය. ‘විශ්වාසය’ ‘සත්‍යය’ යන නම් දරන තැනැන් වහන්සේ ඌ පිට වැඩහුන් සේක. උන් වහන්සේ ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන සේක; යුද්ධ කරන සේක.</verse>
				<verse number="12">උන් වහන්සේගේ නේත්‍ර අග්නි ජාලා මෙනි; උන් වහන්සේගේ හිස මත බොහෝ කිරුළු ඇත. උන් වහන්සේ හැර අන් කිසිවෙකු නොදන්නා නාමයක් එහි ලියා ඇත.</verse>
				<verse number="13">ලෙයින් පෙඟුණු වස්ත්‍රයක් උන් වහන්සේ ඇඳ සිටි සේක. “දෙවියන් වහන්සේගේ ධර්මයාණෝ” යයි උන් වහන්සේට කියන ලදී.</verse>
				<verse number="14">ස්වර්ගීක යුද්ධ සේනාවෝ සුදු, සිනිඳු, පිවිතුරු වස්ත්‍ර හැඳ, සුදු අශ්වයන් පිට උන් වහන්සේ පසුපස්සේ ගියහ.</verse>
				<verse number="15">ජාතීන්ට පහර දෙනු පිණිස උන් වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මේ. උන් වහන්සේ යගදාවකින් ඔවුන් පාලනය කර, සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ කෝපයේ උදහස නමැති මිදි යන්ත්‍රයේ මිදි මඬින සේක.</verse>
				<verse number="16">උන් වහන්සේගේ වස්ත්‍රයෙහි ද කලවයෙහි ද “රජවරුන්ගේ රජ ය, ස්වාමීවරුන්ගේ ස්වාමී ය” යන නාමය ලියා තිබේ.</verse>
				<verse number="17">තවද හිරු මඬලෙහි දේව දුතයෙකු සිටිනු දිටිමි. ඔහු මැද අහසේ පියාසර කරන සියලු පක්ෂීන්ට මහා හඬකින් මොරගසා:</verse>
				<verse number="18">“තෙපි රජුන්ගේ මස් ද සේනාධිපතීන්ගේ මස් ද බලවත් මිනිසුන්ගේ මස් ද අශ්වයන්ගේත් අශ්වාරෝහකයන්ගේත් මස් ද දාස නිර්දාස, ලොකු කුඩා සියලු මිනිසුන්ගේ මස් ද කන පිණිස, දෙවියන් වහන්සේගේ මහා මංගල්‍ය භෝජනයට පැමිණ එක්රැස් වෙයව්” යයි කී ය.</verse>
				<verse number="19">අශ්වාරෝහක තැනැන් වහන්සේටත්, උන් වහන්සේගේ යුද්ධ සේනාවටත් විරුද්ධ ව සටන් කිරීමට මෘගයා ද මිහි පිට රජවරුන් ද ඔවුන්ගේ යුද්ධ සේනා ද රැස් ව සිටිනු මම දිටිමි.</verse>
				<verse number="20">එකල මෘගයා ද ඌ ඉදිරියෙහි හාස්කම් කර, උගේ සලකුණ ලැබූවන් සහ උගේ රූපයට නමස්කාර කළවුන් රැවටූ බොරු දිවැසිවරයා ද අල්ලාගනු ලැබූ හ. ඔව්හු දෙදෙනා ම ගෙන්දගමින් දැවෙන ගිනිවිලට පණපිටින් හෙළනු ලැබූ හ.</verse>
				<verse number="21">සෙසු අය අශ්වාරෝහක තැනැන් වහන්සේගේ මුඛයෙන් නික්මුණු කඩුවෙන් මරනු ලැබූ හ. සියලු පක්ෂීහු ඔවුන්ගේ මාංස ගිජු ලෙස ගිලදැමූ හ.</verse>
			</chapter>
			<chapter number="20">
				<verse number="1">තවද, පාතාලයේ යතුර ද මහත් දම්වැලක් ද අතින් ගත් දේව දුතයෙකු ස්වර්ගයෙන් බැස එනු දිටිමි.</verse>
				<verse number="2">ඔහු යක්ෂයා ද සාතන් ද වන පුරාතන සර්පයා හෙවත් ඒ මකරා අල්ලා අවුරුදු දහසකට බැඳ තැබී ය.</verse>
				<verse number="3">ඒ අවුරුදු දහස කෙළවර වන තුරු ඔහු විසින් ජාතීන් තවත් නොරවටන පිණිස, ඔහු පාතාලයට හෙළා, එය වසා, මතුපිට මුද්‍රා තැබී ය. මින්පසු මඳ කලකට ඔහු මුදා හැරිය යුතු ය.</verse>
				<verse number="4">එවිට සිංහාසන දිටිමි. ඒවායේ හිඳ ගත්තවුන්ට විනිශ්චය කිරීමේ වරම දෙන ලද්දේ ය. තවද, ජේසුස් වහන්සේගේ සාක්ෂිය නිසාත්, දෙවියන් වහන්සේගේ වචනය නිසාත් හිස් ගසාදමනු ලැබූවන්ගේ ද, මෘගයාට වත් උගේ රූපයට වත් නමස්කාර නොකළ, උගේ සලකුණ සිය නළල්වල හා අත්වල නොදැරූ තැනැත්තන්ගේ ද ආත්මයන් දිටිමි. ඔව්හු යළි ජීවනය ලබා ක්‍රිස්තුන් වහන්සේ සමඟ අවුරුදු දහසක් රජකම් කළහ.</verse>
				<verse number="5">මළා වූ සෙසු අය අවුරුදු දහස කෙළවර වන තුරු ජීවනය නොලැබූ හ. මේ පළමු වන පුනරුජ්ජීවනය වේ.</verse>
				<verse number="6">පළමු වන පුනරුජ්ජීවනයට පංගුකාරකම ඇති තැනැත්තා භාග්‍යවන්තයෙකි, සැදැහැවතෙකි. දෙ වන මරණයට ඔවුන් කෙරෙහි බලයක් නැත. ඔව්හු දෙවියන් වහන්සේගේත්, ක්‍රිස්තුන් වහන්සේගේත් පූජකයෝ ව, උන් වහන්සේ හා සමඟ අවුරුදු දහසක් රජකම් කරන්නෝ ය.</verse>
				<verse number="7">අවුරුදු දහස කෙළවර වූ පසු, සාතන් තමාගේ සිරගෙයින් මුදනු ලැබ,</verse>
				<verse number="8">පොළොවේ සතර දිශාවේ සිටින ගොග් සහ මාගොග් යන ජාතීන් මුළා කරනු පිණිස ද ඔවුන් යුද්ධයට රැස් කරනු පිණිස ද නික්ම එන්නේ ය. ඒ ජාතීන්ගේ ගණන මුහුදේ වැලි මෙන් ය.</verse>
				<verse number="9">ඔව්හු පොළොවේ සෑම දිශාවල ම පැතිර ගොස් සැදැහැවතුන්ගේ කඳවුර ද ප්‍රිය මනාප නුවර ද වටලාගත්හ. එවිට ස්වර්ගයෙන් ගිනි බැස අවුත් ඔවුන් වනසාදැමී ය.</verse>
				<verse number="10">එවිට ඔවුන් මුළාවට පත් කළ යක්ෂයා, මෘගයා හා බොරු දිවැසිවරයා සිටින, ගින්නෙන් හා ගෙන්දගමින් යුත් විලට හෙළනු ලැබී ය. ඔව්හු සදහට ම, දිවා රෑ දෙක්හි දරුණු ලෙස වධයට පත් කරනු ලබන්නෝ ය.</verse>
				<verse number="11">තවද, විශාල ධවල සිංහාසනයක් ද, එහි වැඩහුන් තැනැන් වහන්සේ ද දිටිමි. උන් වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළොවත් පලා ගියේ ය. ඒවායේ ලකුණක් වත් ඉතිරි නො වී ය.</verse>
				<verse number="12">මළා වූ, ලොකු කුඩා සියල්ලන් සිංහාසනය ඉදිරියෙහි සිටිනු දිටිමි. පොත් ද දිගහරිනු ලැබී ය. ජීවන පොත වන තවත් පොතක් ද දිග හරිනු ලැබී ය. පොතේ ලියා තිබෙන හැටියට ඒ මියගිය අය තමන්ගේ ක්‍රියා අනුව විනිශ්චය කරනු ලැබුවෝ ය.</verse>
				<verse number="13">මහමුහුද එහි වූ මළවුන් භාර දුන්නේ ය. මරණයත්, පාතාලයත්, එහි උන් මළවුන් භාර දුන්නේ ය. ඔව්හු එකිනෙකා තම තමාගේ ක්‍රියා ලෙස විනිශ්චය කරනු ලැබූ හ.</verse>
				<verse number="14">මරණයත්, පාතාලයත් ගිනි විලට හෙළන ලද්දේ ය. මේ ගිනි විල දෙ වන මරණය වේ.</verse>
				<verse number="15">යමෙකුගේ නම ජීවන පොතෙහි ලියැවී නැති බව සම්බ වී ද, ඔහු ගිනි විලට හෙළනු ලැබී ය.</verse>
			</chapter>
			<chapter number="21">
				<verse number="1">ඉන්පසු මම අලුත් අහසක් ද අලුත් පොළොවක් ද දිටිමි. පළමු අහසත් පළමු පොළොවත් පහ ව ගියේ ය. මුහුද ද තවත් නො වී ය.</verse>
				<verse number="2">තවද, තමාගේ ස්වාමි පුරුෂයාට සරසන ලද මනාලියක මෙන් සූදානම් කරනු ලැබූ ශුද්ධ නගරය වන අලුත් ජෙරුසලම, දෙවියන් වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස එනු දිටිමි.</verse>
				<verse number="3">සිංහාසනයෙන් මහා හඬක් මෙසේ කියනු ඇසීමි: “මෙන්න, දෙවියන් වහන්සේගේ වාසභවනය මනුෂ්‍යයන් සමඟ ය. උන් වහන්සේ ඔවුන් සමඟ වාසය කරන සේක. ඔව්හු උන් වහන්සේගේ සෙනඟ වන්නෝ ය. දෙවියන් වහන්සේ ම ඔවුන් සමඟ වැඩවසමින්, ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන සේක.</verse>
				<verse number="4">උන් වහන්සේ ඔවුන්ගේ දෙනෙතින් සියලු කඳුළු පිසදමන සේක. මරණය තවත් නැත. වැලපීම ද හැඬීම ද, වේදනාව ද තවත් නැත. ඒ පළමු පිළිවෙළ පහ ව ගිය බැවිනි.”</verse>
				<verse number="5">එවිට සිංහාසනයෙහි වැඩහුන් තැනැන් වහන්සේ කතා කොට, “බලව, මම සියල්ල අලුත් කරමි!”යි වදාළ සේක. උන් වහන්සේ තවදුරටත් කතා කොට, “ලියන්න, මන්ද, මේ වචන විශ්වාස කටයුතු ය, සැබෑ ම ය”යි වදාළ සේක.</verse>
				<verse number="6">උන් වහන්සේ මට කතා කොට, “ඒවා ඉෂ්ට වී ඇත. මම අල්පා සහ ඔමෙගා ය. ආරම්භය සහ අවසානය ය. පිපාසය ඇත්තාට මම ජීවන දිය උල්පතෙන් නොමිලයේ බොන්නට දෙන්නෙමි.</verse>
				<verse number="7">ජයග්‍රාහකයාගේ උරුමය එය යි. මම ඔහුගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔහු මාගේ පුත්‍රයා වන්නේ ය.</verse>
				<verse number="8">එහෙත් බියසුල්ලෝ ද අවිශ්වාසිකයෝ ද දුරාචාරීහු ද මිනී මරන්නෝ ද කාමමිථ්‍යාචාරීහු ද අනවින කරන්නෝ ද රූප වඳින්නෝ ද සියලු ආකාර මුසාවාදීහු ද ගින්නෙන් හා ගෙන්දගමින් දැවෙන විලෙහි තමන්ගේ විපාකය ලබන්නෝ ය. එය දෙ වන මරණය”යි මට වදාළ සේක.</verse>
				<verse number="9">අන්තිම වසංගත සතෙන් පිරුණ පාත්‍ර සත දැරූ දේව දූතයන් සත් දෙනාගෙන් එක් තැනැත්තෙක් මා වෙත පැමිණ, “එන්න, බැටළු පෝතකයාණන්ගේ බිරිඳවන මනාලිය ඔබට පෙන්වන්නෙමි”යි කී ය.</verse>
				<verse number="10">ආත්මයාණන්ගේ ආනුභාවයෙන් ඔහු මහ උස් කන්දකට මා ගෙන ගොස්, ශුද්ධ නගරය වූ ජෙරුසලම දේව තේජසින් විරාජමාන ව, දෙවියන් වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස එනු මට පෙන්වී ය.</verse>
				<verse number="11">ඒ නගරයේ දීප්තිය ඉතා අනර්ඝ මාණික්‍යයක් මෙන් එනම්, පළිඟු මෙන් විනිවිද පෙනෙන සූර්යකාන්ත ගලක් මෙන් විය.</verse>
				<verse number="12">වාසල් දොරටු දොළොසකින් යුත්, මහ උස් පවුරක් එය වටේ තිබිණි. ඒ දොරටු ළඟ දේව දූතයෝ දොළොස් දෙනෙක් වූ හ. ඒවා පිට ඉශ්රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍ර දොළොසේ නාම ලියා තිබිණි.</verse>
				<verse number="13">නැගෙනහිරින් දොරටු තුනක් ද උතුරෙන් දොරටු තුනක් ද දකුණෙන් දොරටු තුනක් ද බස්නාහිරෙන් දොරටු තුනක් ද විය.</verse>
				<verse number="14">නුවර පවුරෙහි අත්තිවාරම් දොළොසක් විය. ඒවා පිට බැටළු පෝතකයාණන්ගේ ප්‍රේරිතයන් දොළොස් දෙනාගේ නාම දොළොස ලියා තිබිණි.</verse>
				<verse number="15">මා සමඟ කතා කළ දේව දූතයාට නගරය ද එහි වාසල් දොරටු ද එහි පවුර ද මනින පිණිස රනින් කළ මිණුම් දණ්ඩක් තිබිණි.</verse>
				<verse number="16">මේ නගරය සම චතුරශ්‍රයකි. එහි දිගත්, පළලත් එක සමාන ය. ඔහු දණ්ඩෙන් නුවර මැන්නේ ය. එය කිලෝමීටර් දෙ දහස් හාර සියයක් ය. එහි දිග, පළල හා උස එක සමාන ය.</verse>
				<verse number="17">ඔහු එහි පවුර ද මැන්නේ ය. එය මීටර් හැටක් විය. දේව දූතයා මැන්නේ ඔහු භාවිත කළ සම්මත මිම්මෙනි.</verse>
				<verse number="18">එහි පවුර සූර්යකාන්තවලින් ගොඩනඟා තිබුණේ ය. නගරය ද වීදුරු මෙන් පැහැදිලි ව පෙනෙන, පවිත්‍ර රනින් විය.</verse>
				<verse number="19">නුවර පවුරේ අත්තිවාරම් වෛවර්ණ මැණික් ගලින් සරසා තිබිණි. පළමු වන අත්තිවාරම සූර්යකාන්ත ය. දෙවැන්න ඉන්ද්‍ර නීල මාණික්‍ය ය. තුන්වැන්න අගස්ති ය. සතරවැන්න මරකත ය.</verse>
				<verse number="20">පස්වැන්න නඛ මාණික්‍ය ය. සවැන්න ලෝහිතංක ය. සත්වැන්න රන් කාන්ති ය. අටවැන්න වෛදූර්ය ය. නවවැන්න පුෂ්පරාග ය. දසවැන්න ගෝමේද ය. එකොළොස්වැන්න පද්ම රාග ය. දොළොස්වැන්න අඹතේස්ත ය.</verse>
				<verse number="21">දොරටු දොළොස මුතු දොළොසකි. එක එක දොරටුව එක එක මුතු ඇටයකින් සාදා තිබිණි. නුවර වීදිය විනිවිද පෙනෙන වීදුරු මෙන් පිරිසිදු රන් ය.</verse>
				<verse number="22">මම එහි දේව මාලිගාවක් නොදිටිමි. මන්ද, සර්ව පරාක්‍රම දෙවි ස්වාමීන් වහන්සේත්, බැටළු පෝතකයාණෝත් ඒ දේව මාලිගාව වූ සේක.</verse>
				<verse number="23">දේව තේජසින් නුවර ආලෝක වූ බැවින් ද, බැටළු පෝතකයාණන් එහි පහන වන බැවින් ද එහි සූර්යයාගේ හෝ චන්ද්‍රයාගේ හෝ බැබළීමක් අවශ්‍ය නැත.</verse>
				<verse number="24">ජාතීහු එහි ආලෝකයෙහි ඇවිදිති. පොළොවේ රජවරු ස්වකීය තේජස ඊට ගෙනෙන්නාහු ය.</verse>
				<verse number="25">එහි දොරටු දවාලේ විවෘතව ඇත. ඒවා කිසිසේත් වසනු නොලබන්නේ ය; මන්ද, එහි රාත්‍රියක් නොවන්නේ ය.</verse>
				<verse number="26">ඔව්හු, ජාතීන්ගේ ගෞරවය හා ශ්‍රී විභූතිය ඊට ගෙනෙන්නෝ ය.</verse>
				<verse number="27">අපවිත්‍ර දෙයක්වත්, පිළිකුල් දේ කරන, බොරු කියන කිසිවෙක් වත් එහි ඇතුළු නොවන්නෝ ය. ඒ නගරයට ඇතුළු වන්නේ බැටළු පෝතකයාණන්ගේ ජීවන පොතෙහි නම් ලියා ඇති අය පමණකි.</verse>
			</chapter>
			<chapter number="22">
				<verse number="1">දේව දූතයා, දෙවියන් වහන්සේගේ ද බැටළු පෝතකයාණන්ගේ ද සිංහාසනයෙන් ගලා එන, පළිඟුමෙන් විනිවිද දිලෙන, ජීවනදායක වතුර ඇති ගංගාවක් මට පෙන්වී ය.</verse>
				<verse number="2">එහි වීදිය මැද, ගඟ දෙපස, මසකට වරක් බැගින්, දොළොස් මුරයක් පල දරන ජීවන වෘක්ෂය පිහිටා තිබිණි. ඒ වෘක්ෂයේ කොළ, ජාතීන්ගේ සුවය සඳහා විය.</verse>
				<verse number="3">කිසි සාපයක් තවත් එහි නොවන්නේ ය. දෙවියන් වහන්සේගේ ද බැටළු පෝතකයාණන්ගේ ද සිංහාසනය එහි වන්නේ ය. උන් වහන්සේගේ සේවකයෝ උන් වහන්සේට නමස්කාර කරන්නෝ ය.</verse>
				<verse number="4">ඔව්හු උන් වහන්සේගේ මුහුණ දකින්නෝ ය. උන් වහන්සේගේ නාමය ද ඔවුන්ගේ නළල්වල ඇත.</verse>
				<verse number="5">එහි රාත්‍රියක් තවත් නොවන්නේ ය. පහන් ආලෝකය වත්, සූර්යාලෝකය වත් ඔවුන්ට අවශ්‍ය නැත. මන්ද, දෙවි ස්වාමීන් වහන්සේ ඔවුන්ට ආලෝකය දෙන සේක. ඔව්හු සදහට ම රජකම් කරන්නෝ ය.</verse>
				<verse number="6">එවිට දේව දූතයා මට කතා කොට, “මේ වචන විශ්වාස කටයුතු ය, සැබෑ ය. මඳ කලෙකින් සිදුවන්නට යන දේ තමන්ගේ සේවකයන්ට පෙන්වනු පිණිස දිවැසිවරුන්ට ආනුභාවය දුන් දෙවි ස්වාමීන් වහන්සේ ස්වකීය දූතයා එවූ සේක.</verse>
				<verse number="7">මෙන්න, මම ඉක්මනින් එමි”යි කී ය. “මේ පොතේ සඳහන් දිවැස් වැකි රක්ෂා කරන්නා භාග්‍යවන්තයෙකි”යි උන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="8">මේ සියල්ල ඇසූ දුටු තැනැත්තා ජොහන් වන මම ය. එවිට මා ඇසූ දුටු දේ මට පෙන්වූ දේව දූතයාට නමස්කාර කරන පිණිස මම ඔහුගේ පාමුල වැටුණෙමි.</verse>
				<verse number="9">ඔහු මට කතා කොට, “මට නමස්කාර නොකරන්න. මම ඔබේ ද, ඔබේ සහෝදර දිවැසිවරයන්ගේ ද මේ පොතේ වචන පිළිපදින්නන්ගේ ද හවුල් සේවකයෙක් වෙමි. දෙවියන් වහන්සේට පමණක් නමස්කාර කරන්නැ”යි කී ය.</verse>
				<verse number="10">තවද ඔහු මට කතා කොට, “මේ පොතේ ඇති දිවැස් වැකි රහසේ තබා නොගන්න. මන්ද, නියමිත කාලය ආසන්න ය.</verse>
				<verse number="11">නපුරුකම් කරන්නා, නපුරුකම් කරමින් ද, අපිරිසිදුකම් කරන්නා, අපිරිසිදුකම් කරමින් ද සිටී වා! දමිටු තැනැත්තා දමිටු ක්‍රියා කරමින් ද, ශුද්ධ තැනැත්තා ශුද්ධවන්ත කමෙහි පවතිමින් ද සිටී වා!”යි කී ය.</verse>
				<verse number="12">“මෙන්න, මම ඉක්මනින් එමි. එකිනෙකාට තම තමන්ගේ ක්‍රියා අනුව විපාක දීම මා සතු ව ඇත.</verse>
				<verse number="13">මම අල්පා සහ ඔමෙගා ය. මම පළමුවැන්නා සහ අන්තිමයා ය. ආරම්භය සහ අවසානය ය”යි උන් වහන්සේ වදාරන සේක.</verse>
				<verse number="14">ජීවන වෘක්ෂයට ළඟා වීමට අයිතිය ලැබෙන පිණිසත්, වාසල් දොරටුවලින් නගරයට ඇතුළු වන්නට හැකි වන පිණිසත්, තමන්ගේ සළුසෝදාගන්නා තැනැත්තෝ භාග්‍යවන්තයෝ ය.</verse>
				<verse number="15">එහෙත් නුවරින් පිටත සිටින්නෝ නම් බල්ලෝ ද අනවින කරන්නෝ ද කාමමිථ්‍යාචාරීහු ද මිනී මරන්නෝ ද රූප වඳින්නෝ ද මුසාවට ප්‍රිය කොට එය භාවිත කරන්නෝ ද යන මොවුහු ය.</verse>
				<verse number="16">“ජේසුස් වහන්සේ වන මම සභාවන්ගේ යහපත උදෙසා මේ දේවල් ප්‍රකාශ කරන පිණිස මාගේ දූතයා එවීමි. මම වනාහි දාවිත්ගේ වංශයේ මුල ද එයින් පැවත එන්නා ද වෙමි. මම සුදිළෙන පහන් තරුව වෙමි.”</verse>
				<verse number="17">ආත්මයාණන් වහන්සේ ද මනාලිය ද “එන්නැ”යි කියති. අසන්නෝ ද, “එන්නැ”යි කියත් වා! පිපාසය ඇත්තෝ ද එත් වා! කැමැති කෙනෙක් ජීවන පැන් නොමිලයේ ගනිත් වා!</verse>
				<verse number="18">මේ පොතේ සඳහන් දිවැස් වැකි අසන සියල්ලන්ට මම මෙය සහතික ලෙස කියමි. යමෙක් ඒ වචනවලට යමක් එකතු කරන්නේ නම්, දෙවියන් වහන්සේ මේ පොතේ ලියන ලද වසංගත ඔහුට එකතු කරන සේක.</verse>
				<verse number="19">යමෙක් මේ පොතේ දිවැස් වැකිවලින් යමක් අහක් කරන්නේ නම්, මේ පොතේ සඳහන් ජීවන වෘක්ෂයේ ද ශුද්ධ නුවරේ ද පංගුකාරකමින් දෙවියන් වහන්සේ ඔහු පහ කරන සේක.</verse>
				<verse number="20">මේ කාරණා ගැන සාක්ෂි දරන තැනැන් වහන්සේ, “සැබැවින් ම මම ඉක්මනින් එමි”යි වදාරන සේක. ආමෙන්. ජේසුස් ස්වාමීන් වහන්ස වැඩිය මැනව!</verse>
				<verse number="21">ජේසුස් ස්වාමීන් වහන්සේගේ කරුණාව සියල්ලන් සමඟ වේ වා!</verse>
			</chapter>
		</book>
	</testament>
</bible>