﻿<?xml version="1.0" encoding="UTF-8"?>
<bible translation="Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)" status="ශුද්ධ බයිබලය, සිංහල කාලීන පරිවර්තනය™, අලුත් ගිවිසුම සියලු හිමිකම් ඇවිරිණි © 1980, 1991, 1994, 2011, 2020 by Biblica, Inc. අවසර ඇතුව උපුටා ගනු ලැබී ය. ලොව පුරා සියලු හිමිකම් ඇවිරිණි. Sinhala Contemporary Version™, New Testament Copyright © 1980, 1991, 1994, 2011, 2020 by Biblica, Inc. Used with permission. All rights reserved worldwide." link="https://www.bible.com/bible/3265/MAT.17.SCV">
	<testament name="New">
		<book number="40">
			<chapter number="1">
				<verse number="1">ආබ්‍රහම්ගේ පුත්‍ර, දාවිත්ගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පෙළපත් නාමාවලිය:</verse>
				<verse number="2">ආබ්‍රහම්, ඊසාක්ගේ පියා ය. ඊසාක්, යාකොබ්ගේ පියා ය. යාකොබ්, යූදා හා ඔහුගේ සහෝදරයින්ගේ පියා ය.</verse>
				<verse number="3">යූදා, පෙරෙශ්ගේ හා සෙරාගේ පියා ය. ඔවුන්ගේ මව තාමර් ය. පෙරෙශ්, හෙස්රොන්ගේ පියා ය. හෙස්රොන්, රාම්ගේ පියා ය.</verse>
				<verse number="4">රාම්, අම්මිනාදාබ්ගේ පියා ය. අම්මිනාදාබ්, නාෂොන්ගේ පියා ය. නාෂොන්, සල්මොන්ගේ පියා ය.</verse>
				<verse number="5">සල්මොන්, බෝවස්ගේ පියා ය. බෝවස්ගේ මව රාහබ් ය. බෝවස්, ඕබෙද්ගේ පියා ය. ඕබෙද්ගේ මව රූත් ය. ඕබෙද්, යෙස්සේගේ පියා ය.</verse>
				<verse number="6">යෙස්සේ, දාවිත් රජුගේ පියා ය. දාවිත්, සලමොන්ගේ පියා ය. මව ඌරියාගේ භාර්යාව ය.</verse>
				<verse number="7">සලමොන්, රෙහොබොවාම්ගේ පියා ය. රෙහොබොවාම්, අබියාගේ පියා ය. අබියා, ආසාගේ පියා ය.</verse>
				<verse number="8">ආසා, යෙහෝෂාපාට්ගේ පියා ය. යෙහෝෂාපාට්, යෙහෝරාම්ගේ පියා ය. යෙහෝරාම්, උස්සියාගේ පියා ය.</verse>
				<verse number="9">උස්සියා, යෝතාම්ගේ පියා ය. යෝතාම්, ආහාස්ගේ පියා ය. ආහාස්, හෙසකියාගේ පියා ය.</verse>
				<verse number="10">හෙසකියා මනස්සේගේ පියා ය. මනස්සේ, ආමොන්ගේ පියා ය. ආමොන්, යොසියාගේ පියා ය.</verse>
				<verse number="11">යොසියා, යෙකොනියාගේ හා ඔහුගේ සහෝදරයින්ගේ පියා ය. ඒ, බබිලෝනියට පිටුවහල් කරනු ලැබූ කාලය ය.</verse>
				<verse number="12">බබිලෝනියට පිටුවහල් කරනු ලැබූ පසු: යෙකොනියා, ෂෙයල්තියෙල්ගේ පියා ය. ෂෙයල්තියෙල්, සෙරුබ්බාබෙල්ගේ පියා ය.</verse>
				<verse number="13">සෙරුබ්බාබෙල්, අබියුද්ගේ පියා ය. අබියුද්, එලියාකීම්ගේ පියා ය. එලියාකීම්, ආශොර්ගේ පියා ය.</verse>
				<verse number="14">ආශොර්, සාදොක්ගේ පියා ය. සාදොක්, ආකීම්ගේ පියා ය. ආකීම්, එලියුද්ගේ පියා ය.</verse>
				<verse number="15">එලියුද්, එලෙයාසර්ගේ පියා ය. එලෙයාසර්, මත්තාන්ගේ පියා ය. මත්තාන්, යාකොබ්ගේ පියා ය.</verse>
				<verse number="16">යාකොබ්, යෝසෙප්ගේ පියා ය. යෝසෙප්, මරියාගේ පුරුෂයා ය. ක්‍රිස්තුස් නම් වූ යේසුස්වහන්සේ උපන්නේ මරියාගෙනි.</verse>
				<verse number="17">මෙසේ ආබ්‍රහම් පටන් දාවිත් දක්වා මුළු පරම්පරා ගණන දහ හතරකි. දාවිත් පටන් බබිලෝනියට පිටුවහල් කිරීම දක්වා පරම්පරා දහ හතරකි. පිටුවහල් කිරීමේ සිට ක්‍රිස්තුස්වහන්සේ දක්වා පරම්පරා දහ හතරකි.</verse>
				<verse number="18">යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත සිදු වූයේ මෙසේ ය: උන්වහන්සේගේ මව වූ මරියා, යෝසෙප් සමඟ විවාහ ගිවිස සිටියදී, ඔවුන් එක් වන්නට පළමු, ශුද්ධාත්මයාණන් මඟින් ඇය දරුවකු ලබන්නට සිටින බැව් දැනගනු ලැබිණ.</verse>
				<verse number="19">ඇගේ පුරුෂයා වූ යෝසෙප් ධර්මිෂ්ඨ කෙනකු බැවින්, ප්‍රසිද්ධියේ ඇය අවමානයට පත් කරන්නට නො කැමතිව, රහසේ ඇය අත්හැරීමට ඉටා ගත්තේ ය.</verse>
				<verse number="20">එහෙත් ඔහු ඒ ගැන කල්පනා කළ විට, මෙන්න! ස්වාමින්වහන්සේගේ දූතයෙක් සිහිනෙන් ඔහුට පෙනී, “යෝසෙප්, දාවිත්ගේ පුත්‍රය, ඔබේ භාර්යාව වන මරියා ආවාහ කර ගන්නට බය නො වන්න. මන්ද ඇය දරා සිටින ගැබ ශුද්ධාත්මයාණන් මඟින් වූවකි.</verse>
				<verse number="21">ඇය පුතකු බිහි කරනු ඇත. ඔබ ඔහුට යේසුස් යන නම තැබිය යුතු ය. මන්ද ස්වකීය ජනයා ඔවුන්ගේ පාපවලින් ගලවන්නේ උන්වහන්සේ යැ” යි කීවේ ය.</verse>
				<verse number="22">මේ සියල්ල සිදු වූයේ දිවැසිවරයා ලවා, ස්වාමින්වහන්සේ පැවසූ දෑ ඉටු වන පිණිස ය.</verse>
				<verse number="23">එනම්, “මෙන්න, කන්‍යාව ගැබ් ගෙන පුතකු බිහි කරන්නී ය; ඔවුන් එම්මානුවෙල් නමින් උන්වහන්සේ අමතනු ඇත” යන්නයි. (එහි අරුත “දෙවියන්වහන්සේ අප සමඟ ය” යනුයි.)</verse>
				<verse number="24">යෝසෙප් නින්දෙන් අවදි වූ පසු, ස්වාමින්වහන්සේගේ දූතයා ඔහුට අණ කළ පරිදි කරමින්, ඇය තම භාර්යාව කොට ආවාහ කරගත්තේ ය.</verse>
				<verse number="25">එහෙත් ඇය පුතකු බිහි කරන තුරු ඔහු ඇය හා එක්වූයේ නැත. ඔහු උන්වහන්සේට යේසුස් යැයි නම් තැබී ය.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">හෙරෝද් රජුගේ කාලයේ, යුදයේ බෙත්ලෙහෙමේ යේසුස්වහන්සේ උපන් පසු, මෙන්න! පෙරදිග සිට පඬිවරු යෙරුසලමට පැමිණ,</verse>
				<verse number="2">“යුදෙව්වන්ගේ රජව උපන් තැනැත්තේ කොහේ ද? මන්ද එතුමාණන්ගේ තරුව නැගෙනහිරින් දැක, අප මේ ආවේ එතුමාණන්ට නමස්කාර කරන්නට යැ” යි කීහ.</verse>
				<verse number="3">ඒ ඇසූ හෙරෝද් රජු ද ඔහු සමඟ මුළු යෙරුසලම ද කැලඹිණි.</verse>
				<verse number="4">ජනයාගේ නායක පූජක සියල්ලන් හා දහම් පඬිවරුන් රැස්කර වූ ඔහු, ක්‍රිස්තුස්වහන්සේ කොතැන්හි උපදින්නට නියමිතදැයි ඔවුන්ගෙන් විමසී ය.</verse>
				<verse number="5">ඔවුහු පිළිතුරු දෙමින්, “යුදයේ බෙත්ලෙහෙමෙදීයි. මන්ද දිවැසිවරයා ලියා තිබෙන්නේ:</verse>
				<verse number="6">“ ‘එම්බා, යුදයේ බෙත්ලෙහෙම, යූදාහි අධිපතීන් අතර නුඹ කිසි සේත් සුළුවන්නේ නැත; මන්ද මාගේ ජනයා වූ ඉශ්‍රායෙල්ගේ එඬේරාණන් වන පාලකයෙක් නුඹගෙන් නික්ම එනු ඇත’ කියා යැ” යි කීහ.</verse>
				<verse number="7">ඉන්පසු හෙරෝද්, පෙරදිග පඬිවරුන් රහසේ තමා වෙත කැඳවා, ඔවුනට තරුව පෙනුණ හරි කාලය සොයා දැන ගත්තේ ය.</verse>
				<verse number="8">ඔහු බෙත්ලෙහෙමට ඔවුන් පිටත් කර යවමින්, “ගොස් මනා විපරමින් දරුවා ගැන සොයා බලන්න. ඔබට ඔහු හමු වූ විට, මා ද ගොස්, එතුමාණන්ට නමස්කාර කරන පිණිස ඇවිත්, මට දන්වන්නැ” යි කීවේ ය.</verse>
				<verse number="9">රජු කී දෑ ඇසූ පසු ඔවුහු යළි තම ගමන ඇරඹූහ. එකල මෙන්න! නැගී තිබෙනවා ඔවුන් දැක තිබූ තරුව දරුවා සිටි තැන දක්වා ඔවුන්ට පෙරටුව ගොස්, එතැන නැවතුණේ ය.</verse>
				<verse number="10">තරුව දුටු ඔවුහු මහා ප්‍රීතියකින් උද්දාමයට පත් වූහ.</verse>
				<verse number="11">නිවසට ඇතුළු වූ ඔවුහු දරුවාත්, ඔහුගේ මවු වූ මරියාත් දැක, වැඳ වැටී උන්වහන්සේට නමස්කාර කළහ. ඉන්පසු තම කරඬු ඇර, රන් ද කට්ටකුමංජල් ද සුවඳලාටු ද යන ත්‍යාග උන්වහන්සේට පිළිගැන් වූහ.</verse>
				<verse number="12">හෙරෝද් වෙත ආපසු නො යන ලෙස සිහිනයක් මඟින් අවවාද ලද ඔවුන්, ආපසු තම රට බලා ගියේ වෙනත් මගකිනි.</verse>
				<verse number="13">ඔවුන් නික්ම ගිය පසු, මෙන්න! ස්වාමින්වහන්සේගේ දූතයෙක් සිහිනෙන් යෝසෙප්ට පෙනී, “නැගිටින්න; දරුවාත්, ඔහුගේ මවත් රැගෙන, ඊජිප්තුවට පලා ගොස්, මා නැවත දන්වන තුරු එහි නැවතී සිටින්න; මන්ද හෙරෝද් දරුවා මරා දමන්නට සොයනවා ඇතැ” යි කීවේ ය.</verse>
				<verse number="14">එකල යෝසෙප් නැගිට දරුවාත්, ඔහුගේ මවත් ගෙන, රැයේම පිටත්ව, ඊජිප්තුවට ගොස්,</verse>
				<verse number="15">හෙරෝද්ගේ මරණය දක්වා එහි නැවතී සිටියේ ය. මෙසේ වූයේ, ස්වාමින්වහන්සේ දිවැසිවරයා මඟින් පැවසූ, “මගේ පුත්‍රයා ඊජිප්තුවෙන් කැඳවා ගතිමි” යි යන්න සැබෑ වන පිණිස ය.</verse>
				<verse number="16">පෙරදිග පඬිවරු තමාට ප්‍රයෝගයක් කර ඇති වග දැක, දැඩි කෝපයට පත් හෙරෝද්, එම පඬිවරුන්ගෙන් දැනගත් කාලසීමාවට අනුව, බෙත්ලෙහෙම හා ඒ අවට පළාත්වල වයසින් අවුරුදු දෙකක් වූත්, ඊට අඩු වූත් සියලු පිරිමි දරුවන් මරා දමන්නට මිනිසුන් යැවී ය.</verse>
				<verse number="17">මෙසේ දිවැසිවර යෙරමියා පවසා තිබූ මෙම අනාවැකිය ඉටු විණි:</verse>
				<verse number="18">“වැලපීමක, මහා විලාපයක හඬක්, රාමාහි ඇසිණ, රාඛෙල් ඇගේ දරුවන් ගැන වැලපෙන්නී, තවත් උන් නැති නිසා, සැනසෙන්නට නො කැමති වූවා ය.”</verse>
				<verse number="19">හෙරෝද්ගේ මරණින් පසු, මෙන්න! ස්වාමින්වහන්සේගේ දූතයෙක් ඊජිප්තුවේදී යෝසෙප්ට සිහිනයකින් පෙනී,</verse>
				<verse number="20">“නැගිට, දරුවාත්, ඔහුගේ මවත් කැඳවාගෙන, ඉශ්‍රායෙල් දේශයට යන්න; මන්ද දරුවාගේ ජීවිතය නසන්නට සෙවූ අය මැරිලා” යි කීවේ ය.</verse>
				<verse number="21">එවිට ඔහු නැගිට, දරුවාත් ඔහුගේ මවත් කැඳවාගෙන, ඉශ්‍රායෙල් දේශයට ගියේ ය.</verse>
				<verse number="22">එහෙත් හෙරෝද්ගේ පුත් අර්කෙලාවුස් සිය පියාගේ තැන ගෙන යුදයේ රජකම් කරන බැව් අසා, එහි යෑමට බිය වූ ඔහු සිහිනයකින් අවවාද ලැබ, ගලීල පළාතට අහක්ව ගොස්,</verse>
				<verse number="23">නාසරෙත් නම් වූ නුවරකට පැමිණ, එහි පදිංචි විය. “උන්වහන්සේ නාසරීයයෙකැයි අමතනු ලබනු ඇත” යනුවෙන් දිවැසිවරුන් මඟින් කී කීම මෙසේ ඉටු විය.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">එදවස්හි යොහන් බව්තීස්ත යුදයේ පාළුකරයේ දේශනා කරමින්,</verse>
				<verse number="2">“පසුතැවිලි වන්න, මන්ද ස්වර්ග රාජ්‍යය ළංව ඇතැ” යි කියමින් ආවේ ය.</verse>
				<verse number="3">දිවැසිවර යෙසායා මඟින්: “කාන්තාරයේ හඬගසන්නකුගේ කටහඬකි, ‘ස්වාමින්වහන්සේගේ මාර්ගය පිළියෙල කරනු, උන්වහන්සේට සෘජු මාවත් සාදනු’ ” යි කියැවුණේ මොහු ගැන ය.</verse>
				<verse number="4">යොහන් ඔටු ලෝම වස්ත්‍රයක් හැඳ සිටියේ ය. ඔහුගේ ඉණ වටා හම් පටියක් බැඳ තිබිණ. ඔහුගේ ආහාර, පළඟැටියන් හා වන මී ය.</verse>
				<verse number="5">යෙරුසලමෙන්, මුළු යුදයෙන් හා යොර්දාන් පෙදෙස් මුළුල්ලෙන් ජනයා ඔහු වෙත ගොස්,</verse>
				<verse number="6">තමන්ගේ පාප කියා දෙමින්, යොර්දාන් නදියෙහි ඔහුගෙන් බව්තීස්ම ලදහ.</verse>
				<verse number="7">එහෙත් පරිසිවරුන් හා සද්දුසිවරුන් බොහෝ දෙනෙක් බව්තීස්ම ලබන්නට එනු දුටු ඔහු, ඔවුන් අමතමින්, “එම්බා පොළොං පැටවුනි, පැමිණෙන උදහසින් පලා යන්නට නුඹලාට අවවාද කළේ කවුරු ද?</verse>
				<verse number="8">පසුතැවිල්ලට අනුකූල පල උපද්දවනු.</verse>
				<verse number="9">‘අපගේ පියාණන් වශයෙන් අපට ආබ්‍රහම් ඉන්නවා යැ’ යි ඔබට කියාගත හැකියයි නො සිතන්න; මන්ද මා ඔබට කියන්නේ, මේ ගල්වලින් වුවත් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්නට දෙවියන්වහන්සේට පුළුවන් ය කියායි.</verse>
				<verse number="10">පොරොව දැනටමත් ගස්වල මුල්වලට තබා තිබේ. එබැවින් හොඳ පල නො දරන හැම ගසක්ම කපා ගින්නෙහි හෙළනු ලැබේ.</verse>
				<verse number="11">“පසුතැවිල්ල සඳහා මා ඔබ බව්තීස්ම කරන්නේ වතුරිනි. එහෙත් මට පසුව එන තැනැත්තා මට වඩා බලවත් ය; එතුමන්ගේ පාවහන් මුදන්නට තරම්වත් මා වටින්නේ නැත. උන්වහන්සේ, ශුද්ධාත්මයාණන්ගෙන් හා ගින්නෙන් ඔබ බව්තීස්ම කරනු ඇත.</verse>
				<verse number="12">උන්වහන්සේගේ කුල්ල උන්වහන්සේ අතේ ය; උන්වහන්සේ තම කමත පවිත්‍ර කරමින්, තම ධාන්‍ය අටුවේ රැස්කර, බොල් නො නිවෙන ගින්නෙහි හෙළන සේකැ” යි පැවසී ය.</verse>
				<verse number="13">එකල යේසුස්වහන්සේ ගලීලයේ සිට යොර්දානයට පැමිණ, යොහන්ගෙන් බව්තීස්මය ලැබූ සේක.</verse>
				<verse number="14">එහෙත් යොහන්, “මා ඔබෙන් බව්තීස්ම ලැබිය යුතුව තිබියදී ඔබ මා වෙත එනවා දැ?” යි කියමින් උන්වහන්සේ වැළැක්වීමට වෙර දැරී ය.</verse>
				<verse number="15">එහෙත් යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “දැනට ඉඩ දෙන්න; මන්ද සියලු ධර්මිෂ්ඨකම් මෙලෙස ඉටු කිරීම අපට යෝග්‍යයැ” යි කී සේක. එවිට යොහන් ඊට එකඟ විය.</verse>
				<verse number="16">යේසුස්වහන්සේ බව්තීස්ම කරනු ලැබ, එකෙණෙහිම දියෙන් පිටතට ආ සේක. එවිට මෙන්න! ස්වර්ගය විවරව, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් පරෙවියකු ලෙස බැස අවුත් තමන් පිට නවතිනු උන්වහන්සේ දුටු සේක.</verse>
				<verse number="17">තවද, “මේ මා ප්‍රේම කරන මාගේ පුත්‍රයාණෝ ය; ඔහු සමඟ මම බෙහෙවින් ප්‍රසන්නව සිටිමි” යි පවසන හඬක් අහසින් විය.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">ඉන්පසු යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස, ආත්මයාණන්වහන්සේ විසින් යේසුස්වහන්සේ පාළුකරයට ගෙන යනු ලැබූ සේක.</verse>
				<verse number="2">දහවල හතළිහක් හා රෑ හතළිහක් නිරාහාරව සිටි පසු, උන්වහන්සේට සාගිනි විය.</verse>
				<verse number="3">එවිට, පරීක්ෂාකාරයා ඇවිත්, “ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම්, රොටි වන ලෙසට මේ ගල්වලට අණ කරන්නැ” යි උන්වහන්සේට කීවේ ය.</verse>
				<verse number="4">යේසුස්වහන්සේ උත්තර දෙමින්, “ ‘මිනිසා ජීවත් වන්නේ රොටි පමණකින් නො ව, දෙවියන්වහන්සේගේ මුවින් නික්මෙන හැම වචනයකින්ම ය’ කියා ලියා තිබේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="5">ඉන්පසු යක්ෂයා, ශුද්ධ නගරයට උන්වහන්සේ පමුණුවා, දේව මාලිග මුදුනේ උන්වහන්සේ සිටුවා,</verse>
				<verse number="6">“ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම්, මෙතැනින් බිමට පනින්න. මන්ද: “ ‘උන්වහන්සේ තම දූතයිනට ඔබ ගැන අණ දෙන සේක. තවද ඔවුහු තම අත්වලින් ඔබ උසුලා ගනු ඇත්තේ, ඔබගේ පාද ගලක නො වදින ලෙසට ය’ කියා ලියා ඇතැ” යි කීවේ ය.</verse>
				<verse number="7">යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පරීක්ෂා නො කරනු කියා ද ලියා තිබේ” යි කී සේක.</verse>
				<verse number="8">යක්ෂයා නැවතත් ඉතා උස් කන්දකට උන්වහන්සේ පමුණුවා, ලොව සියලු රාජ්‍යයන් ද ඒවායේ ශෝභාලංකාරය ද උන්වහන්සේට පෙන්වා,</verse>
				<verse number="9">“ඔබ වැඳ වැටීමට නමස්කාර කළොත්, මේ සියල්ලම මම ඔබට දෙන්නෙමි” යි උන්වහන්සේට කීවේ ය.</verse>
				<verse number="10">එවිට යේසුස්වහන්සේ, “සාතන්, අහක්ව යව. මන්ද, ‘ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට පමණක් නමස්කාර කරනු; උන්වහන්සේට පමණක් සේවය කරනු’ කියා ලියා තිබේ” යි ඔහුට කී සේක.</verse>
				<verse number="11">එවිට යක්ෂයා උන්වහන්සේ හැර ගියේ ය; දේව දූතයෝ පැමිණ උන්වහන්සේට සත්කාර කළහ.</verse>
				<verse number="12">යොහන් සිරගෙයි දමන ලදැයි සැල වූ කල, යේසුස්වහන්සේ ගලීලයට අහක්ව ගිය සේක.</verse>
				<verse number="13">උන්වහන්සේ නාසරෙත් හැර ගොස්, සාබුලොන් හා නප්තලී පෙදෙස්හි මුහුද අසබඩ කපර්ණවුම් වෙත පැමිණ විසූයේ,</verse>
				<verse number="14">දිවැසිවර යෙසායා මඟින් කියැවුණු දෑ ඉටු වන පිණිස ය. එනම්:</verse>
				<verse number="15">“යොර්දානෙන් එතෙර මුහුදු මාවතේ, අන්‍ය-ජාතීන්ගේ ගලීලයේ පිහිටි, සාබුලොන් දේශයේ හා නප්තලී දේශයේ</verse>
				<verse number="16">අඳුරේ දිවි ගෙවන ජනයා මහත් ආලෝකයක් දුටුවහ; මරණ සෙවණැලි දේශයේ වෙසෙන්නන් මත එළියක් උදා විණ,” යන්න ය.</verse>
				<verse number="17">එවක් පටන් යේසුස්වහන්සේ, “පසුතැවිලි වන්න, මන්ද ස්වර්ග රාජ්‍යය ළංව ඇතැ” යි කියමින් දේශනා කරන්නට පටන් ගත් සේක.</verse>
				<verse number="18">යේසුස්වහන්සේ ගලීල මුහුදු වෙරළේ ඇවිද යන අතරේ, පේතෘස් නම් සීමොන් හා ඔහුගේ සහෝදර අන්දෘ යන සහෝදරයින් දෙදෙනකු දුටු සේක. මුහුදේ දැලක් හෙළමින් සිටි ඔවුහු මසුන් අල්ලන්නන් වූහ.</verse>
				<verse number="19">යේසුස්වහන්සේ ඔවුන් ඇමතූ සේක්, “මා අනුව එන්න, මම ඔබ මිනිසුන් අල්ලන්නන් කරන්නෙමි” යි කී සේක.</verse>
				<verse number="20">එකෙණෙහි ඔවුහු තම දැල් අත්හැර, උන්වහන්සේ අනුව ගියහ.</verse>
				<verse number="21">එතැන් සිට ගමන් ගත් උන්වහන්සේ, සෙබදීගේ පුත්‍ර යාකොබ් හා ඔහුගේ සහෝදර යොහන් යන සහෝදරයින් දෙදෙනකු දුටු සේක. ඔවුහු තම පියා වූ සෙබදී සමඟ ඔරුවේ හිඳ, දැල් අලුත්වැඩියා කරමින් සිටියහ. යේසුස්වහන්සේ ඔවුන් ද කැඳවූ සේක.</verse>
				<verse number="22">එකෙණෙහි ඔවුහු ඔරුවත්, තම පියාත් අත්හැර, උන්වහන්සේ අනුව ගියහ.</verse>
				<verse number="23">උන්වහන්සේ යුදෙව්වරුන්ගේ සිනගෝගවල උගන්වමින් ද රාජ්‍යයේ සුබ ආරංචිය ප්‍රකාශ කරමින් ද ජනයා අතරේ වූ සියලු රෝග හා ආබාධ සුව කරමින් ද ගලීලය මුළුල්ලේ සැරි සැරූ සේක.</verse>
				<verse number="24">උන්වහන්සේ පිළිබඳ කීර්තිය සිරියාව පුරා පැතිරිණි. නොයෙක් රෝගවලින් හා වේදනාවලින් පෙළෙන්නවුන් ද යක්ෂාත්මාවේශවූවන් ද අපස්මාරය හා අංසබාගය යනාදී සියලු ආකාර රෝගීන්, ඔවුහු උන්වහන්සේ වෙත ගෙනාවහු ය; උන්වහන්සේ ඔවුන් සුව කළ සේක.</verse>
				<verse number="25">ගලීලයෙන් ද දෙකපොලිස් වෙතින්, යෙරුසලමෙන්, යුදයෙන් හා යොර්දාන් එගොඩින් ද පැමිණි අති මහත් ජනකායක් උන්වහන්සේ අනුව ගියහ.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">ජනකාය දුටු කල, යේසුස්වහන්සේ කන්දට නැගුණ සේක. උන්වහන්සේ හිඳගත් පසු, උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ වෙත ආහ.</verse>
				<verse number="2">එකල උන්වහන්සේ මෙසේ කියමින් ඔවුන්ට උගන්වන්ට වන් සේක. උන්වහන්සේ මෙසේ කී සේක:</verse>
				<verse number="3">“ආත්මයෙන් දිළින්දෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය.</verse>
				<verse number="4">ශෝකවන්නෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ඔවුහු සනසනු ලබන්නෝ ය.</verse>
				<verse number="5">මෘදු ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ඔවුහු පොළොව උරුම කර ගන්නෝ ය.</verse>
				<verse number="6">ධර්මිෂ්ඨකමට සා-පිපාස ඇත්තෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ඔවුහු සෑහීමට පත් වන්නෝ ය.</verse>
				<verse number="7">දයාවන්තයෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ඔවුහු දයාව ලබන්නෝ ය.</verse>
				<verse number="8">හදින් පවිත්‍ර ඇත්තෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ඔවුහු දෙවියන්වහන්සේ දකින්නෝ ය.</verse>
				<verse number="9">සාමය සලසන්නෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ඔවුහු දෙවියන්වහන්සේගේ පුත්‍රයින් ය කියනු ලබන්නෝ ය.</verse>
				<verse number="10">ධර්මිෂ්ඨකම උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය.</verse>
				<verse number="11">“මා නිසා, අන්‍යයන් ඔබට ගැරහුම් කරන කල, පීඩා කරන කල, හැම අයුරකම නපුර පවරා, ඔබට එරෙහිව අසත්‍ය පවසන කල ඔබ භාග්‍යවත් ය.</verse>
				<verse number="12">ප්‍රීතිවන්න; ප්‍රමෝද වන්න. මන්ද ස්වර්ගයේදී ඔබගේ ත්‍යාගය ඉමහත් ය. ඔබට කලින් සිටි දිවැසිවරුනට ඔවුන් පීඩා කළේ එලෙසම ය.</verse>
				<verse number="13">“ඔබ පොළොවේ ලුණු ය. එහෙත් ලුණෙහි ලුණු රසය නැති වුවහොත්, යළි එය ලුණු රස ගැන්විය හැක්කේ කෙසේ ද? පිටත දමා, මිනිසුන්ගේ පයට පෑගෙන්නට හැර දැමීම මිස, තවත් එයින් ගත හැකි වැඩක් නැත.</verse>
				<verse number="14">“ඔබ ලෝකයේ ආලෝකය ය. කන්දක් මත පිහිටි නුවරක් සැඟවිය නො හැක.</verse>
				<verse number="15">කිසිවකු පහනක් දල්වා, එය බඳුනකින් වසන්නේ නැත; කරන්නේ පහන් රුකක් මත තැබීම ය; එවිට නිවසේ හැම කෙනකුටම එය එළිය දෙයි.</verse>
				<verse number="16">එලෙසම අන්‍යයන් ඔබගේ සද් ක්‍රියා දැක, ස්වර්ගයේ සිටින ඔබගේ පියාණන්වහන්සේට මහිමය දෙන පිණිස, ඔවුන් ඉදිරියේ ඔබේ එළිය බබළවන්න.</verse>
				<verse number="17">“දහම් නීතිය හෝ දිවැසිවරුන් හෝ අවලංගු කරන්නට මා ආවා යයි නො සිතන්න; ඒවා සම්පූර්ණ කරන්නට මිස අවලංගු කරන්නට මා ආවා නො වෙයි.</verse>
				<verse number="18">මන්ද සැබවින් ම මා ඔබට කියන්නේ, අහසත්, පොළොවත් පහව යන තෙක්, දහම් නීතියෙන් එක් ඉස්පිල්ලක්, පාපිල්ලක් වුව කිසි සේත් පහ වී නො යන වගයි.</verse>
				<verse number="19">ඉන් ඉතාම සුළු ආඥාවක් හෝ කඩ කරන, කඩ කරන්නට අන් අයට උගන්වන කවරකු නමුදු ස්වර්ග රාජ්‍යයේ ඉතා සුළු කෙනකු සේ සැලැකේ. එහෙත් ඒ නියෝග පිළිපදින, පිළිපැදීමට උගන්වන කවරකු නමුත් ස්වර්ග රාජ්‍යයේ උතුම් කෙනකු සේ සැලකේ.</verse>
				<verse number="20">මන්ද ඔබගේ ධර්මිෂ්ඨකම, පරිසිවරුන්ගේ හා දහම් පඬිවරුන්ගේ ධර්මිෂ්ඨකම ඉක්මවන්නේ නැතිනම්, කිසි කල ස්වර්ග රාජ්‍යයට ඔබ ඇතුළු වන්නේ නැත.</verse>
				<verse number="21">“පුරාතන ජනයාට, ‘මිනී නො මරනු; මිනී මරන කවරකු නමුත් විනිශ්චයට යටත් යැ’ යි කියා ඇති වග ඔබ අසා තිබේ.</verse>
				<verse number="22">එහෙත් මා ඔබට කියන්නේ තම සහෝදරයා සමඟ කෝප වන කවරකු වුවත්, විනිශ්චයට යටත් වගයි. තම සහෝදරයාට ‘රකා’ හෙවත් මෝඩයායි අපහාස කරන කවරකු වුව, මන්ත්‍රණ සභාවට යටත් ය; ‘ජඩයා’ යි අවමන් කරන කවුරුන් වුව, නිරා ගින්නට යටත් ය.</verse>
				<verse number="23">“එබැවින් පූජාසනයේ ඔබ, ඔබේ පඬුර පුදන කල, ඔබේ සහෝදරයාට ඔබට එරෙහි යමක් වෙතැයි සිහි වුවහොත්,</verse>
				<verse number="24">ඔබේ පඬුර, පූජාසනය පසෙක තබා, පළමුව ගොස්, ඔබේ සහෝදරයා හා සමඟි වී, ඉන්පසු අවුත් ඔබේ පඬුර පුදන්න.</verse>
				<verse number="25">“ඔබේ එදිරිවාදියා සමඟ උසාවියට යන අතර, පමා නො වී, ඔහු හා සමථයකට එළඹෙන්න. නැතහොත් ඔහු නඩුකාරයා ඉදිරියට ඔබ පමුණුවනු ලබනු ඇත; නඩුකාරයා නීතියේ නිලධාරීන්ට ඔබ බාර දෙනු ඇත; ඔබව සිරගෙයි දමනු ඇත.</verse>
				<verse number="26">සත්තකින්ම මා ඔබට කියන්නේ, අන්තිම සතය දක්වා ඔබේ දඩය ගෙවා දමන තුරු, ඔබ ඉන් පිටතට නො එන බවයි.</verse>
				<verse number="27">“ ‘පරදාර සේවනය නො කළ යුතු ය’ කියා ඇති වග ඔබ අසා ඇත.</verse>
				<verse number="28">එහෙත් මා ඔබට කියන්නේ, ස්ත්‍රියක දෙස රාගයෙන් බලන කවරකු වුව, ඒ වන විටත්, තම හදවතින් ඇය හා පරදාර සේවනයේ යෙදී ඇති වගයි.</verse>
				<verse number="29">ඔබේ දකුණු ඇස, පාපයට ඔබ පොලඹවයි නම්, එය උගුලා ඉවත දමන්න. මන්ද ඔබගේ මුළු සිරුරම නිරයට හෙළනු ලැබීමට වඩා සිරුරේ එක් අවයවයක් අහිමි වීම වඩා හොඳ ය.</verse>
				<verse number="30">ඔබගේ දකුණු අත, පාපයට ඔබ පොලඹවයි නම්, එය කපා ඉවත ලන්න. ඔබගේ මුළු සිරුරම නිරයට යනවාට වඩා සිරුරේ එක් අවයවයක් අහිමි වීම ඔබට වඩා හොඳ ය.</verse>
				<verse number="31">“ ‘තම භාර්යාව දික්කසාද කරන කවරකු වුව, ඇයට දික්කසාද සහතිකයක් දිය යුතු යැ’ යි කියා තිබේ.</verse>
				<verse number="32">එහෙත් මා ඔබට කියන්නේ, ලිංගික අනාචාරයකදී හැර, තම භාර්යාව අත්හැර දමන කවරකු වුව, පරදාර සේවනයට ඇය යොමු කරවන වගයි. අත්හැර දමන ලද ස්ත්‍රියක ආවාහ කරගන්නා තැනැත්තා ද පරදාර සේවනයේ යෙදෙයි.</verse>
				<verse number="33">“තවද, ‘බොරුවට නො දිවුරන්න; ස්වාමින්වහන්සේට කළ ඔබේ දිවුරුම ඉටු කරන්නැ’ යි පුරාතන ජනයාට කියා ඇති වග ඔබ අසා ඇත.</verse>
				<verse number="34">එහෙත් මා ඔබට කියන්නේ, කොහෙත්ම නො දිවුරන්න. ස්වර්ගය, දෙවියන්වහන්සේගේ සිංහාසනය බැවින් එය ගැනවත්,</verse>
				<verse number="35">පොළොව, උන්වහන්සේගේ පා පුටුව බැවින් එය ගැනවත්, යෙරුසලම, ශ්‍රේෂ්ඨ රජුගේ පුරවරය බැවින් එය ගැනවත් නො දිවුරන්න.</verse>
				<verse number="36">ඔබේ හිස ගැනත් නො දිවුරන්න; මන්ද එක් හිස කෙසක්වත් සුදු හෝ කළු කරන්නට ඔබට නො හැකි ය.</verse>
				<verse number="37">ඔබ කියන දේ ‘ඔව්’ නම් ඔව් කියා ද හෝ ‘නැත’ නම් නැත කියා ද කීම සෑහේ; ඊට වැඩියෙන් පවසන දෑ එන්නේ නපුරාගෙනි.</verse>
				<verse number="38">“ ‘ඇසකට ඇසකි; දතකට දතකි’ යි කියා ඇති බව ඔබ අසා ඇත.</verse>
				<verse number="39">එහෙත් මා ඔබට කියන්නේ, දුෂ්ට අයට එරෙහි නො වන්න. යමෙක් ඔබගේ දකුණු කම්මුලට ගැසුවහොත්, ඔහුට අනෙක් කම්මුලත් හරවන්න.</verse>
				<verse number="40">නඩු කියා යමකු ඔබේ යටි කබාය ගන්නට කැමැත්තේ නම්, ඔබේ උඩු කබායත් ඔහුට දෙන්න.</verse>
				<verse number="41">සැතපුමක් යන්නැයි යමකු ඔබට බල කළහොත්, ඔහු හා සැතපුම් දෙකක්ම යන්න.</verse>
				<verse number="42">ඔබෙන් ඉල්ලන්නාට දෙන්න. ඔබෙන් ණයට ගන්නට කැමති තැනැත්තාට නො පිටුපාන්න.</verse>
				<verse number="43">“ ‘ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න; ඔබේ සතුරාට වෛර කරන්නැ’ යි කියා ඇති බැව් ඔබ අසා තිබේ.</verse>
				<verse number="44">එහෙත් මා ඔබට කියන්නේ, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න කියා ය.</verse>
				<verse number="45">මෙසේ ඔබ, ස්වර්ගයේ සිටින ඔබගේ පියාණන්වහන්සේගේ පුත්‍රයින් වනු ඇත. මන්ද උන්වහන්සේ දුෂ්ටයින්ටත්, ධර්මිෂ්ඨයින්ටත්, තම හිරු උදා කරන සේක. දමිටුන්ටත්, අදමිටුන්ටත් වැසි වස්වන සේක.</verse>
				<verse number="46">ඔබ ප්‍රේම කරන්නේ ඔබට ප්‍රේම කරන අයට පමණක් නම්, ඔබට ඉන් ඇත්තේ කවර ප්‍රති විපාකයක් ද? බදු අය කරන්නෝ පවා එසේ නො කරත් ද?</verse>
				<verse number="47">ඔබ ආචාර කරන්නේ ඔබගේ සහෝදරයින්ට පමණක් නම්, අන් අය කරනවාට වඩා එහි ඇති පලේ කුමක් ද? විජාතිකයෝ පවා එසේ නො කරත් ද?</verse>
				<verse number="48">එබැවින් ඔබේ ස්වර්ගීක පියාණන්වහන්සේ පරිපූර්ණව සිටින සේ ඔබත් පරිපූර්ණව සිටින්න.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">“අනුන්ට පෙනෙන්නට ඔවුන් ඉදිරියේ ඔබගේ ධර්මිෂ්ඨකම් නො කරන්නට පරෙස්සම් වන්න. නැතහොත් ස්වර්ගයේ සිටින ඔබගේ පියාණන්වහන්සේගෙන් ඔබට ඉටු විපාකයක් නො ලැබෙනු ඇත.</verse>
				<verse number="2">“එබැවින්, දුගියනට ඔබ දන් දෙන කල, හොරණෑ පිඹ ප්‍රසිද්ධ නො කරන්න. මිනිසුන්ගෙන් ගරු පැසසුම් ලබනු පිණිස කුහකයෝ සිනගෝගවලදීත්, මංමාවත්හිදීත් එසේ කරති. සත්තකින්ම මා ඔබට කියන්නේ, ඒ සඳහා වූ මුළු ප්‍රති-විපාකය ඔවුන් ලබා ඇති බවයි.</verse>
				<verse number="3">එබැවින් දුගියනට ඔබ යමක් දෙන කල, ඔබ දකුණතින් කරන දේ, ඔබේම වමතටවත් දැනගන්නට ඉඩ නො තබන්න.</verse>
				<verse number="4">මෙසේ ඔබේ දීම අප්‍රසිද්ධියේම කෙරේවා. එවිට රහසේ එය දකින ඔබේ පියාණන්වහන්සේ ඔබට ප්‍රතිවිපාක දෙනු ඇත.</verse>
				<verse number="5">“ඔබ යාච්ඤා කරන කල කුහකයින් සේ නො වන්න. මන්ද සිනගෝගවලදීත්, මං සන්ධිවලදීත් අන්‍යයන්ට පෙනෙන්නට නැගී සිට, යාච්ඤා කරන්නට ඔවුහු ආශා කරති. සැබවින් ම මා ඔබට කියන්නේ, ඔවුන්ගේ ප්‍රති-විපාකය ඔවුන් ලබා ඇති බවයි.</verse>
				<verse number="6">එබැවින් ඔබ යාච්ඤා කරන කල, ඔබේ කාමරය තුළට වී, දොර වසාගෙන, රහසිගතව සිටින ඔබේ පියාණන්වහන්සේට යාච්ඤා කරන්න. එවිට රහසිගතව එය දකින ඔබේ පියාණන්වහන්සේ ඔබට ප්‍රතිවිපාක දෙනු ඇත.</verse>
				<verse number="7">ඔබ යාච්ඤා කරන කල, අන්‍ය-ජාතීන් මෙන් හිස් වචන ගොඩක් නො පවසන්න; මන්ද ඔවුන් සිතන්නේ තම වචන රාශිය නිසා එය අසනු ලැබේ ය කියා ය.</verse>
				<verse number="8">ඔවුනට සමාන නො වන්න. මන්ද ඔබට අවශ්‍ය මොනවාදැයි ඔබ ඉල්ලන්නටත් පළමුවෙන් ඔබේ පියාණන්වහන්සේ දන්නා සේක.</verse>
				<verse number="9">“එබැවින් මෙලෙස යාච්ඤා කරන්න: “ ‘ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්ස, ඔබගේ නාමය පාරිශුද්ධව සැලකේවා,</verse>
				<verse number="10">ඔබගේ රාජ්‍යය පැමිණේවා, ඔබගේ කැමැත්ත ස්වර්ගයේදී මෙන් පොළොවේදීත් කරනු ලැබේවා.</verse>
				<verse number="11">අපගේ දිනපතා භෝජනය අද දින අපට දුන මැනව.</verse>
				<verse number="12">අපට වරද කරන අයට අප කමා කළ අයුරින්, අපගේ වරද අපට කමා කළ මැනව.</verse>
				<verse number="13">පරීක්ෂාවනට අප නො පමුණුවා, නපුරාගෙන් අප මුදා ගත මැනව.’</verse>
				<verse number="14">අන් අයගේ වරදට ඔබ ඔවුනට කමා වන්නේ නම්, ඔබගේ ස්වර්ගීක පියාණන්වහන්සේ ඔබට කමා කරන සේක.</verse>
				<verse number="15">එහෙත් අන්‍යයන්ගේ වරදට ඔබ ඔවුන්ට කමා නො කරන්නේ නම්, ඔබගේ පියාණන්වහන්සේ ඔබටත් කමා කරන්නේ නැත.</verse>
				<verse number="16">“ඔබ නිරාහාර ශීලයෙන් සිටින කල, කුහකයින් කරන්නා සේ, අඳුරු මුහුණින් යුතු නො වන්න. මන්ද තමන් නිරාහාරව සිටිනා බැව් පෙන්වීමට ඔවුහු වෙස් පෙරළා ගනිති. සත්තකින්ම මා ඔබට කියන්නේ, ඔවුන්ගේ ප්‍රති-විපාකය ඔවුන් ලබා ඇති බවයි.</verse>
				<verse number="17">එහෙත් ඔබ නිරාහාරව සිටින කල, හිස තෙල් ගල්වා, මුහුණ සෝදා සිටිය යුත්තේ,</verse>
				<verse number="18">ඔබ නිරාහාරව සිටින වග රහසිගතව සිටින ඔබගේ පියාණන්වහන්සේ මිස අන්‍යයන් නො දකින පිණිස ය; එවිට රහසිගතව එය දකින ඔබගේ පියාණන්වහන්සේ ඔබට ප්‍රතිවිපාක දෙන සේක.</verse>
				<verse number="19">“කාවුන් කෑමෙන් හා මල බැඳීමෙන් විනාශ වන, සොරු කඩා වැදී, සොරාගන්නා පොළොවේ වස්තුව ඔබට ගොඩගසා ගැනීම නො කරන්න.</verse>
				<verse number="20">කාවුන්ගෙන් හා මලකඩින් විනාශ වන්නේ නැති, සොරු කඩා වැදී සොරා ගන්නේ නැති සම්පත් ස්වර්ගයේ ඔබට රැස් කරගන්න.</verse>
				<verse number="21">මන්ද ඔබේ සම්පත් කොතැන ද, ඔබේ සිතත් එතැනම ය.</verse>
				<verse number="22">“සිරුරේ පහන ඇස ය. ඔබගේ ඇස නිරෝගී නම්, ඔබගේ මුළු සිරුරත් ආලෝකයෙන් පිරෙයි.</verse>
				<verse number="23">එහෙත් ඔබගේ ඇස නරක නම් ඔබගේ මුළු සිරුර අඳුරින් පිරේ. එසේ ඔබ තුළ ඇති එළිය අඳුරු නම්, ඒ අඳුර කෙතරම් ගන අඳුරක් වේ ද!</verse>
				<verse number="24">“හාම්පුතුන් දෙදෙනකුට මෙහෙ කිරීමට කිසිවකුට නුපුළුවන. ඔහු එක් කෙනකුට ද්වේෂ වී, අනෙකාට ප්‍රේම කරනු ඇත. නැතහොත් එක් කෙනකුට ලැදි වී අනෙකා හෙළා දකිනු ඇත. දෙවියන්වහන්සේටත්, මුදලටත් සේවය කිරීමට ඔබට නුපුළුවන.</verse>
				<verse number="25">“එබැවින් මා ඔබට කියන්නේ, කන්නේ මොනවා ද, බොන්නේ මොනවා ද කියා ඔබේ ජීවිතය ගැනවත්, අඳින්නේ මොනවා ද කියා ඔබේ ශරීරය ගැනවත්, කනස්සලු නො වන ලෙසයි. කෑමට වඩා ජීවිතය ද ඇඳුමට වඩා ශරීරය ද වටිනවා නො වේ ද?</verse>
				<verse number="26">අහසේ පක්ෂීන් දෙස බලන්න. උන් වපුරන්නේවත්, කපා ගන්නේවත්, අටු-කොටු පුරවන්නේවත් නැත. එහෙත් ඔබගේ ස්වර්ගීය පියාණන්වහන්සේ උන් පෝෂ්‍ය කරන සේක. ඔබ උන්ට වඩා බොහෝ වටිනවා නො වේ ද?</verse>
				<verse number="27">කනස්සලු වීමෙන්, ඔබේ ආයු කාලය එක පැයකින්වත් දිගු කර ගත හැක්කේ ඔබෙන් කවරකුට ද?</verse>
				<verse number="28">“ඇඳුම් ගැන ඔබ කනස්සලු වන්නේ මන්ද? කෙතේ මානෙල් වැඩෙන හැටි බලන්න. ඒවා වෙහෙසෙන්නේවත්, නූල් කටින්නේවත් නැත.</verse>
				<verse number="29">එහෙත් මා ඔබට කියන්නේ, සලමොන් පවා ඔහුගේ මුළු රාජශ්‍රීයෙන් පැලඳ සිටියදී මේ මලක් සේ සැරසී සිටියේ නැති බවයි.</verse>
				<verse number="30">අද පිපී, හෙට ගින්නෙහි ලන තෘණ ඒ සා සරසවන දෙවියන්වහන්සේ ඊට වඩා කොපමණ ඉහළින් ඔබ සරසවන සේක් ද? අහෝ ඇදහිලි මද තැනැත්තෙනි,</verse>
				<verse number="31">‘අප කන්නේ මොනවා ද? බොන්නේ මොනවා ද? අඳින්නේ මොනවා ද?’ කියමින් කනස්සලු නො වන්න.</verse>
				<verse number="32">මන්ද අන්‍ය-ජාතීහු ඒ සියල්ල හඹා යති. ඒවා ඔබට උවමනා වග ඔබගේ ස්වර්ගීය පියාණන්වහන්සේ දන්නා සේක.</verse>
				<verse number="33">එබැවින් පළමු කොට දෙවියන්වහන්සේගේ රාජ්‍යයත්, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමත් සොයන්න. එවිට ඒ හැම දේත් ඔබට දෙනු ලැබේ.</verse>
				<verse number="34">එබැවින් හෙට ගැන කනස්සලු නො වන්න. මන්ද හෙට දවස, හෙට දවස ගැන බලා ගනු ඇත. මන්ද ඊටම සෑහෙන කරදර හැම දවසකටම ඇත.</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">“විනිශ්චය නො කරන්න; එවිට ඔබත් විනිශ්චය කරනු ලබන්නේ නැත.</verse>
				<verse number="2">මන්ද ඔබ විනිශ්චය කරනු ලබන්නේ, ඔබ කරන විනිශ්චයෙන්ම ය. ඔබටත් මැන දෙනු ලබන්නේ, ඔබ මනින මිම්මෙන්ම ය.</verse>
				<verse number="3">“ඔබේම ඇසේ ඇති ලී පතුර දෙස නො බලා, ඔබේ සහෝදරයාගේ ඇසේ ලී කුඩ්ඩ දෙස බලන්නේ ඇයි?</verse>
				<verse number="4">ඔබේම ඇසේ ලී පතුරක් තිබියදී තම සහෝදරයාට, ‘ඔබේ ඇසේ ඇති ලී කුඩ්ඩ ඉවත් කරන්න ඉඩ දෙන්නැ’ යි කියන්නේ කෙසේ ද?</verse>
				<verse number="5">වංචාකාරය, පළමුව, ඔබේ ඇසේ ලී පතුර ඉවත් කරගන්න; එවිට ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති ලී කුඩ්ඩ ඉවත් කිරීමට පැහැදිලිවම ඔබට පෙනෙනු ඇත.</verse>
				<verse number="6">“ශුද්ධ දේ බල්ලන්ට නො දෙන්න; ඔබගේ මුතු, ඌරන් ඉදිරියට නො දමන්න. එසේ කළහොත්, උන් ඒවා පයින් පාගා, හැරී, කෑලිවලට ඔබ ඉරා දමනු ඇත.</verse>
				<verse number="7">“ඉල්ලන්න; එවිට ඔබට දෙනු ලැබේ. සොයන්න; එවිට ඔබට සම්බ වේ. තට්ටු කරන්න; එවිට ඔබට දොර අරිනු ලැබේ.</verse>
				<verse number="8">මන්ද ඉල්ලන හැමට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටු කරන්නාට අරිනු ලැබේ.</verse>
				<verse number="9">“ඔබ අතරින් කවරකු තම පුත්‍රයා රොටියක් ඉල්ලූ කල, ඔහුට ගලක් දෙයි ද?</verse>
				<verse number="10">නැතහොත්, ඔහු මාළුවකු ඉල්ලූ කල, ඔහුට සර්පයකු දෙයි ද?</verse>
				<verse number="11">මෙසේ නපුරු වූ ඔබ, ඔබගේ දරුවන්ට හොඳ ත්‍යාග දෙන්නේ කෙසේදැයි දනී නම්, ස්වර්ගයේ සිටින ඔබගේ පියාණන්වහන්සේ තමන්ගෙන් ඉල්ලන්නන්ට ඊට වඩා කොපමණ හොඳ ත්‍යාග දෙන සේක් ද!</verse>
				<verse number="12">අන්‍යයන් ඔබට කෙලෙස සලකනවාට ඔබ කැමති ද, ඔබත් එලෙසම ඔවුනට කරන්න. මන්ද දහම් නීතියත්, දිවැසිවරුනුත් එයයි.</verse>
				<verse number="13">“පටු දොරටුවෙන් ඇතුළු වන්න. මන්ද විනාශය වෙත දිවෙන මාවත පළල් ය; එහි දොරටුව විසල් ය. එතුළින් ඇතුළු වන්නෝ බොහෝ ය.</verse>
				<verse number="14">මන්ද ජීවනයට දොරටුව කුඩා ය; මාවත පටු ය; එය සොයාගන්නේ ස්වල්ප දෙනෙක් ය.</verse>
				<verse number="15">“බොරු දිවැසිවරුන්ගෙන් පරෙස්සම් වන්න. ඔවුන් ඔබ වෙත එන්නේ බැටළු වෙසිනි. එහෙත් ඇතුළතින් ඔවුන් රුදුරු වෘකයින් ය.</verse>
				<verse number="16">ඔබ ඔවුන් හැඳින ගනු ඇත්තේ ඔවුන්ගේ පලවලිනි. කටු පඳුරුවලින් මිදිවත්, කටුගස්වලින් අත්තික්කාවත් නෙළා ගත හැකි ද?</verse>
				<verse number="17">එසේම හැම හොඳ ගසකම, හොඳ පල හට ගැනේ; හැම නරක ගසකම නරක පල හට ගැනේ.</verse>
				<verse number="18">හොඳ ගසකට නරක පල දැරිය නො හැක. නරක ගසකට හොඳ පල දැරිය නො හැක.</verse>
				<verse number="19">හොඳ පල නො දරන හැම ගසක්ම කපා හෙළා, ගින්නට ඇද දමනු ලැබේ.</verse>
				<verse number="20">මෙසේ ඔවුන්ගේ පලවලින් ඔබ ඔවුන් හැඳින ගනු ඇත.</verse>
				<verse number="21">“ස්වර්ගයේ සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස, මට ‘ස්වාමිනි, ස්වාමිනි,’ යි කියන හැම කෙනෙක්ම ස්වර්ග රාජ්‍යයට ඇතුළු වන්නේ නැත.</verse>
				<verse number="22">ඒ දවසේදී බොහෝ දෙනෙක් මා අමතමින්, ‘ස්වාමිනි, ස්වාමිනි, ඔබගේ නාමයෙන් අපි දිවැසි වැකි නො කීවෙමු ද? ඔබගේ නාමයෙන් අපි යක්ෂාත්මයන් දුරු නො කළෙමු ද? ඔබගේ නාමයෙන් නොයෙකුත් ප්‍රබල ක්‍රියා නො කළෙමු දැ?’ යි කියනු ඇත.</verse>
				<verse number="23">එවිට මම ඔවුන්ට ප්‍රකාශ කරන්නේ, ‘කිසි කල මා ඔබ දැන සිටියේ නැත. නොපනත්කම් කරන්නෙනි, මා වෙතින් ඉවත් වනු’ කියා ය.</verse>
				<verse number="24">“එබැවින් මාගේ මේ වචන අසා, ඒවා ක්‍රියාවට නගන හැම කෙනෙක්ම, පර්වතය පිට තම ගේ හැදූ නැණවතකුට සමාන ය.</verse>
				<verse number="25">වැසි වැස, ගං වතුර ගලා, සුළං හමා, ඒ ගෙට ගැසී ය; එහෙත් පර්වතය පිට එහි අත්තිවාරම් ලා තිබූ බැවින් එය බිඳ වැටුණේ නැත.</verse>
				<verse number="26">එහෙත් මාගේ මේ වචන අසා ඒවා නො පිළිපදින හැම කෙනෙක්ම, වැල්ල මත තම ගේ හැදූ මෝඩ මිනිසකුට සමාන ය.</verse>
				<verse number="27">වැසි වැස, ගං වතුර ගලා, සුළං හමා, ඒ ගෙට ගැසී ය. එය බිඳ වැටුණේ මහා වැටීමකිනි.”</verse>
				<verse number="28">යේසුස්වහන්සේ මෙම කියමන් කියා නිම වූ කල, සමූහයා උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන විස්මිත වූහ.</verse>
				<verse number="29">මන්ද උන්වහන්සේ ඉගැන්වූයේ, ඔවුන්ගේ දහම් ගුරුන් මෙන් නො ව, ආධිපත්‍යය ඇත්තකු ලෙසිනි.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">උන්වහන්සේ කන්දේ සිට පහළට බැස ආ කල, විශාල පිරිසක් උන්වහන්සේ පසුපස ගියහ.</verse>
				<verse number="2">එවිට මෙන්න, කුෂ්ඨ රෝගියෙක් උන්වහන්සේ වෙත පැමිණ, උන්වහන්සේ අබියස දණින් වැටී, “ස්වාමිනි, ඔබ කැමති නම්, මා පවිත්‍ර කරන්නට ඔබට පුළුවනැ” යි කීවේ ය.</verse>
				<verse number="3">යේසුස්වහන්සේ අත දිගු කොට, ඔහු ස්පර්ශ කර, “මා කැමතියි; පවිත්‍ර වන්නැ!” යි පැවසූ කෙණෙහිම, කුෂ්ඨය පහ වී ඔහු පවිත්‍ර විය.</verse>
				<verse number="4">ඉන්පසු ඔහු ඇමතූ යේසුස්වහන්සේ, “කිසිවකුට කිසිවක් නො කියන්නට වගබලා ගන්න. එනමුත් ගොස්, පූජකයා ඉදිරියේ පෙනී සිට, මෝසෙස් විසින් නියම කරන ලද පඬුරු ඔවුන්ට සාක්ෂියක් වශයෙන් ඔප්පු කරන්නැ” යි පැවසූ සේක.</verse>
				<verse number="5">යේසුස්වහන්සේ කපර්ණවුමට පිවිසි කල, රෝම හමුදාවේ සියයේ සේනාංකයක් භාර සෙන්පතියෙක් ඉදිරියට අවුත්, උන්වහන්සේට ආයාචනා කරමින්,</verse>
				<verse number="6">“ස්වාමිනි, මාගේ මෙහෙකරුවා අංසබාගය සෑදී, දැඩි වේදනාවෙන් නිවසේ වැතිර සිටී” යි කීවේ ය.</verse>
				<verse number="7">“මා ඇවිත් ඔහු සුව කරන්නම්” යි උන්වහන්සේ ඔහුට පැවසූහ.</verse>
				<verse number="8">එහෙත් සෙන්පතියා පිළිතුරු දෙමින්, “ස්වාමිනි, ඔබතුමා මගේ වහල යටට පැමිණීමට තරම් මා සුදුස්සෙක් නො වේ. වචනයක් පමණක් පැවසුව මැනවි; එවිට මාගේ මෙහෙකරුවා සුව වන්නේ ය.</verse>
				<verse number="9">මන්ද මමත් ආධිපත්‍යයට යටත් මනුෂ්‍යයෙක්මි; මා යටතේ ද හේවායෝ සිටිති. මා කෙනකුට ‘යනු’ යි කී කල ඔහු යයි; වෙනෙකකුට ‘එනු’ යි මා කී කල ඔහු එයි. ‘මෙය කරනු’ යි මගේ මෙහෙකරුට කී කල, ඔහු එය කරතැ” යි පැවසී ය.</verse>
				<verse number="10">ඒ ඇසූ කල, විස්මපත් වූ යේසුස්වහන්සේ, තමන් පිරිවරා ආ පිරිස අමතා, “සැබවින් ම මා ඔබට කියන්නේ, මේ තරම් මහත් ඇදහිල්ලක් ඉශ්‍රායෙල්හි කිසිවකු වෙතින්වත් මා දැක නැති බවයි.</verse>
				<verse number="11">මා ඔබට කියන්නේ, නැගෙනහිරින් හා බස්නාහිරින් පැමිණෙන බොහෝ දෙනකු ස්වර්ග රාජ්‍යයේ මංගල්‍ය භෝජනයට ආබ්‍රහම් ද ඊසාක් ද යාකොබ් ද සමඟ අසුන් ගන්නා</verse>
				<verse number="12">අතර, රාජ්‍යයේ පුත්‍රයින් පිටත අන්ධකාරයට හෙළනු ලබන බවයි. එහිදී වැලපීමත්, දත්මිටි කෑමත් වනු ඇතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="13">පසුව යේසුස්වහන්සේ, “යන්න! සිදු වෙතැයි ඔබ විශ්වාස කළ පරිදි වෙතැ” යි සියයේ සෙන්පතියාට කී සේක. ඒ මොහොතේම ඔහුගේ මෙහෙකරුවාට සුවය ලැබිණ.</verse>
				<verse number="14">යේසුස්වහන්සේ පේතෘස්ගේ නිවසට ඇතුළු වූ කල, ඔහුගේ නැන්දණිය උණෙන් පෙළෙමින් ඇඳේ වැතිර සිටිනු දුටු සේක.</verse>
				<verse number="15">උන්වහන්සේ ඇගේ අතින් ඇල්ලූ කල, උණ ඇගෙන් දුරු විය. ඕ නැගිට උන්වහන්සේට සත්කාර කරන්නට වූවා ය.</verse>
				<verse number="16">සවස් වූ කල, යක්ෂාත්මවලින් පීඩා විඳි බොහෝ දෙනෙක් උන්වහන්සේ වෙත ගෙනෙනු ලැබ, උන්වහන්සේ වචනයෙන් එම ආත්ම දුරු කොට, රෝගී සියල්ලන් සුව කළ සේක.</verse>
				<verse number="17">මෙසේ වූයේ දිවැසිවර යෙසායා කී දිවැසි වැකිය ඉටු වන පිණිස ය: “උන්වහන්සේ දරා ගත්තේ අපේ දුබලකම් ය. උසුලා ගත්තේ අපේ රෝ දුක් ය.”</verse>
				<verse number="18">යේසුස්වහන්සේ තමන් වටා වූ ජනකාය දුටු කල, විලෙන් එගොඩට යන ලෙස අණ දුන් සේක.</verse>
				<verse number="19">එහි පැමිණි දහම් පඬිවරයෙක්, “ගුරුතුමනි, ඔබතුමා කොහේ යතත්, මම ඔබ පසුපස එන්නෙමි” යි උන්වහන්සේට කීවේ ය.</verse>
				<verse number="20">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “සිවලුන්ට ගුහාත්, අහස් පක්ෂීන්ට කැදලිත් තිබේ. එහෙත් මනුෂ්‍ය-පුත්‍රයාට තම හිස තැබීමටවත් තැනක් නැතැ” යි කී සේක.</verse>
				<verse number="21">ගෝලයකු වූ වෙනත් කෙනෙක් උන්වහන්සේට කතා කොට, “ස්වාමිනි, පළමුව මා ගොස්, මගේ පියා භූමිදාන කරන්නට අවසර” යි කීවේ ය.</verse>
				<verse number="22">එහෙත් යේසුස්වහන්සේ, “මා අනුව එන්න, මළාහු තම මළවුන් වැළලුවා වේ” යි ඔහුට පැවසූ සේක.</verse>
				<verse number="23">ඉන්පසු උන්වහන්සේ ඔරුවට නැගුණු කල, උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ අනුව ගියහ.</verse>
				<verse number="24">එවිට මෙන්න, රළ පහරින් ඔරුව වැසී යන තරමට මුහුද ඔස්සේ හැමූ සැඩ කුණාටුවක්! එහෙත් උන්වහන්සේ සිටියේ නිදාගෙන ය.</verse>
				<verse number="25">ගෝලයෝ ළං වී උන්වහන්සේ අවදි කරවමින්, “ස්වාමිනි, අප ගලවා ගන්න; අප විනාශ වෙන්නටයි යන්නේ” යි කීහ.</verse>
				<verse number="26">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “අහෝ, මද ඇදහිලි ඇත්තනි, මොකට ඔතරම් බය දැ?” යි අසා, ඉන්පසු නැගිට, සුළඟටත්, රුදු රළ රැළිවලටත් තරවටු කළ සේක. එවිට මහා නිසලතාවක් ඇති විය.</verse>
				<verse number="27">ඉන් විස්මපත් ඒ මිනිස්සු, “මොන විදියේ මනුෂ්‍යයෙක් ද මොහු! සුළඟත්, මුහුදත් පවා මොහුට කීකරු වෙතැ” යි කීහ.</verse>
				<verse number="28">උන්වහන්සේ ගදරීනයන්ගේ පෙදෙසේ අනෙක් පැත්තට එගොඩ වූ කල, කිසිවකුට ඒ මඟ පසුකර යා නො හැකි තරමට සැහැසි වූ, සොහොන්-ගෙවල සිට එමින් සිටි යක්ෂාත්මාවේශ මිනිසුන් දෙදෙනෙක් උන්වහන්සේට මුණ ගැසිණි.</verse>
				<verse number="29">එවිට මෙන්න! “අහෝ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෙනි, ඔබට අපෙන් ඇති කාරිය කිම ද? ඔබ මෙහි ආවේ නියමිත කාලයට පළමු අපට වධ දෙන්නට දැ?” යි ඔවුහු මොරගැසූහ.</verse>
				<verse number="30">ඔවුනට මදක් ඈතින්, මහ ඌරු රැළක් අහර කමින් වුන්හ.</verse>
				<verse number="31">යක්ෂාත්මයෝ උන්වහන්සේට කන්නලව් කරමින්, “ඔබතුමා අප පලවා හරින්නේ නම්, අර ඌරු රැළ වෙත අප හැරිය මැනව” යි ඉල්ලූහ.</verse>
				<verse number="32">“යනු” යි උන්වහන්සේ ඔවුන්ට කී සේක. එකල පිටතට වන් යක්ෂාත්ම ඌරන්ට වැහුණහ. එවිට මෙන්න! බෑවුම පහළට වේගයෙන් දුව ගිය මුළු ඌරු රැළ, දියේ ගිලී මළහ.</verse>
				<verse number="33">ඌරු පල්ලෝ ද දුව ගොස්, නගරයට පිවිස, ඒ සියලු පුවත් ද යක්ෂාත්මාවේශව සිටි මිනිසුන් දෙදෙනාට සිදු වූ දෑ ද සැල කළහ.</verse>
				<verse number="34">එවිට මෙන්න, මුළු නගරයම යේසුස්වහන්සේ හමු වන්නට පිටත්ව අවුත්, උන්වහන්සේ දුටු කල, තම පෙදෙසින් ඉවත්ව යන ලෙස අයැද සිටියහ.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">යේසුස්වහන්සේ ඔරුවකට නැගී, එතෙර වී, තමන්ගේම නගරයට පැමිණි සේක.</verse>
				<verse number="2">එකල සයනයක හොවන ලද අංසබාග රෝගියකු කිහිප දෙනෙක් විසින් උන්වහන්සේ වෙත ගෙනෙන ලද්දේ ය. යේසුස්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, අංසබාග රෝගියා අමතමින්, “ධෛර්යවත් වන්න; පුත්‍රය, ඔබේ පාප කමා කරන ලදැ” යි කී සේක.</verse>
				<verse number="3">එවිට මෙන්න! දහම් පඬිවරු ඇතමෙක් තමන් අතරේම කතා කරමින්, “මේ මිනිසා දේවාපහාස කරතැ” යි කීහ.</verse>
				<verse number="4">යේසුස්වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන, “ඔබේ හදවත් මෙවැනි නපුරු දෑ සිතන්නේ මන්ද?</verse>
				<verse number="5">කියන්නට වඩා පහසු කුමක් ද? ‘ඔබේ පාප කමා කරන ලදැ’ යි කීම ද නැතහොත්, ‘නැගිට ඇවිදින්නැ’ යි කීම ද?</verse>
				<verse number="6">කෙසේ වුවත්, පොළොවේදී පාප කමා කිරීමට මනුෂ්‍ය-පුත්‍රයාට බලය ඇති බව ඔබ දැනගන්නා පිණිස යැ” යි පවසා, ඉන්පසු අංසබාග රෝගියාට, “නැගිටින්න; ඔබේ යහන රැගෙන ගෙදර යන්නැ” යි පැවසූ සේක.</verse>
				<verse number="7">එවිට ඔහු නැගිට, ගෙදර ගියේ ය.</verse>
				<verse number="8">ඒ දුටු ජන සමූහයා බයින් පිරී, එවන් ආධිපත්‍යයක් මිනිසුනට දුන් දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ.</verse>
				<verse number="9">යේසුස්වහන්සේ එතැන් සිට ගමන් ගනිද්දී, මතෙව් නම් වූ මිනිසෙක් අයබදු කාර්යාලයේ හිඳ සිටිනු දැක, “මා අනුව එන්නැ” යි ඔහුට කී සේක. එවිට ඔහු නැගිට, උන්වහන්සේ අනුව ගියේ ය.</verse>
				<verse number="10">යේසුස්වහන්සේ මතෙව්ගේ නිවසේ මේසයට වාඩි වූ කල, බදු අය කරන්නන් බොහෝ දෙනෙක් ද පව්කාරයෝ ද පැමිණ, යේසුස්වහන්සේ හා උන්වහන්සේගේ ගෝලයින් සමඟ එකට වාඩිවූහ.</verse>
				<verse number="11">ඒ දුටු පරිසිවරු, “නුඹලාගේ ගුරුතුමා බදු අය කරන්නන් හා පව්කරුවන් සමඟ කන්නේ මන්දැ?” යි උන්වහන්සේගේ ගෝලයන්ගෙන් ඇසූහ.</verse>
				<verse number="12">උන්වහන්සේ ඒ ඇසූ කල, “වෙදකු ඕනෑ කරන්නේ නිරෝගීනට නො ව රෝගීන්ටයි.</verse>
				<verse number="13">‘මම පූජාවට නො ව දයාවට කැමැත්තෙමි’ යන්නෙහි අරුත කුමක්දැයි ගොසින් ඉගෙන ගන්න. මා ආවේ ධර්මිෂ්ඨයින් කැඳවීමට නො ව, පව්කරුවන් කැඳවීමට යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="14">එකල යොහන්ගේ ගෝලයෝ උන්වහන්සේ වෙත අවුත්, “අපත්, පරිසිවරුනුත් උපවාසයෙන් සිටින නමුත්, ඔබගේ ගෝලයින් උපවාසයේ නො සිටින්නේ මන්දැ?” යි ඇසූහ.</verse>
				<verse number="15">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මංගල පිරිසට, ඔවුන් සමඟ මනාලයා සිටියදී ශෝක විය හැකි ද? මනාලයා ඔවුන් වෙතින් ඉවතට ගනු ලබන දවස් පැමිණෙයි. එවිට ඔවුන් නිරාහාරව සිටිනු ඇත.</verse>
				<verse number="16">“කිසිවකු පරණ ඇඳුමකට තාන් රෙදි කඩකින් අණ්ඩ දමන්නේ නැත. දැමුවොත් අණ්ඩය දැමූ රෙදි කඩින් පරණ ඇඳුම ඇදී, ඉරුම වඩාත් විශාල වෙයි.</verse>
				<verse number="17">කිසිවකු අලුත් මිදි යුෂ පැරණි සම් මලුවල දමන්නේ ද නැත. එසේ දැමුවහොත් අලුත් මිදි යුෂ සැරට සම් මලු පැළී, මිදි යුෂ හැලී සම් මලු ද නාස්ති වී යනු ඇත; එනිසා, අලුත් මිදි යුෂ දමන්නේ අලුත් සම් මලුවල ය. එවිට ඒ දෙවර්ගයම සුරැකෙතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="18">උන්වහන්සේ එසේ පවසද්දී, එතැනට පැමිණි පාලකයෙක් උන්වහන්සේ අබියස දණින් වැටී, “මගේ දුව මේ දැන් මියැදුණා. එහෙත් ඔබතුමා අවුත්, ඇය පිට ඔබේ අත තැබුවොත්, ඇය ජීවත්වනු ඇතැ” යි කීවේ ය.</verse>
				<verse number="19">එවිට යේසුස්වහන්සේ නැගිට, තම ගෝලයින් ද සමඟ ඔහු අනුව ගිය සේක.</verse>
				<verse number="20">ඒ අතර මෙන්න, පුරා දොළොස් වසරක් කිලිමාලයෙන් පෙළුණු ස්ත්‍රියක් උන්වහන්සේ පිටුපසින් අවුත්, උන්වහන්සේගේ සළුවේ වාටියට අත ගැසුවා ය.</verse>
				<verse number="21">මන්ද, “උන්වහන්සේගේ සළුවටවත් අත ගැසුවොත් මා සුව වේ යැ” යි ඇය තමාටම කියාගත් බැවිනි.</verse>
				<verse number="22">යේසුස්වහන්සේ හැරී, ඇය දැක, “දිරිමත් වන්න දියණිය, ඔබේ ඇදහිල්ල ඔබ සුව කර ඇතැ” යි කී සේක. ඒ මොහොතේ පටන් ඒ ස්ත්‍රිය සුවය ලද්දා ය.</verse>
				<verse number="23">යේසුස්වහන්සේ සිනගෝග පාලකයාගේ නිවසට පැමිණි කල, නළා වාදකයින් හා ඝෝෂාකාරී පිරිස දැක,</verse>
				<verse number="24">ඔවුන් අමතා, “ඉවත් වන්න, දැරිය මැරී නැහැ; ඇය නිදන්නී යැ” යි කී සේක. එවිට ඔවුහු උන්වහන්සේට සිනාසුණහ.</verse>
				<verse number="25">පිරිස පිටතට යවනු ලැබූ පසු, උන්වහන්සේ නිවස තුළට ගොස්, දැරියගේ අතින් ඇල්ලූ සේක. එවිට ඕ නැගිට්ටා ය.</verse>
				<verse number="26">මෙපුවත පෙදෙස මුළුල්ලේම පැතිරිණි.</verse>
				<verse number="27">යේසුස්වහන්සේ එතැන පසුකර යන කල, අන්ධයින් දෙදෙනෙක් උන්වහන්සේ පස්සේ යමින්, “අපට කරුණා කළ මැනව, දාවිත්ගේ පුත්‍රයාණෙනි” යි මොර ගසන්නට වන්හ.</verse>
				<verse number="28">යේසුස්වහන්සේ නිවසට පිවිසි කල, අන්ධයෝ දෙදෙන උන්වහන්සේ වෙත ආහ. “මට මෙය කළ හැකි ය කියා ඔබ විශ්වාස කරනවා දැ?” යි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ කල, “එසේය ස්වාමිනි” යි ඔවුහු පිළිතුරු දුන්හ.</verse>
				<verse number="29">එවිට ඔවුන්ගේ ඇස් ස්පර්ශ කළ උන්වහන්සේ, “ඔබගේ ඇදහිල්ල ලෙස ඔබට සිදු වේවා” යි පැවසූ සේක.</verse>
				<verse number="30">එවිට ඔවුන්ගේ ඇස් පෑදිණි. යේසුස්වහන්සේ ඔවුන්ට තදින් අවවාද කරමින්, “කිසිවකුට මේ ගැන දැනගන්නට ඉඩ නො තබන්නැ” යි කී සේක.</verse>
				<verse number="31">එහෙත් එතැනින් ඉවත්ව ගිය ඔවුහු මුළු පළාත පුරා උන්වහන්සේගේ කීර්තිය පතළ කළහ.</verse>
				<verse number="32">ඔවුන් පිටත්ව යන අතර මෙන්න, යක්ෂාත්මයක් වැහුණු ගොළු මිනිහෙක් උන්වහන්සේ වෙත ගෙනෙනු ලැබී ය.</verse>
				<verse number="33">යක්ෂාත්මය දුරු කරනු ලැබූ කල, ගොළු වී සිටි මිනිසා කතා කළේ ය. ඉන් විස්මයට පත් ජනයා, “මෙහෙම දෙයක් ඉශ්‍රායෙලයේ කවදාවත් දැක නැතැ” යි කීහ.</verse>
				<verse number="34">එහෙත් පරිසිවරු, “මොහු යක්ෂාත්මයන් දුරු කරන්නේ යක්ෂාධිපති මාර්ගයෙනැ” යි කීහ.</verse>
				<verse number="35">යේසුස්වහන්සේ සිනගෝගවල උගන්වමින් ද රාජ්‍යයේ සුබ ආරංචිය ප්‍රකාශ කරමින් ද සියලු ආකාර රෝග හා ආබාධ සුව කරමින් ද සියලු නගර හා ගම් පුරා සැරි සැරූ සේක.</verse>
				<verse number="36">උන්වහන්සේ ජන සමූහයා දැක ඔවුන් එඬේරකු නැති බැටළු රැළක් සේ අතවරවලට ලක්ව, අසරණව සිටි බැවින්, ඔවුන්ට දයානුකම්පා කළ සේක.</verse>
				<verse number="37">එවිට උන්වහන්සේ තම ගෝලයින් අමතමින්, “අස්වැන්න අධිකයි, එහෙත් සේවකයින් ඇත්තේ ස්වල්ප දෙනයි.</verse>
				<verse number="38">එබැවින් තමාගේ අස්වනු නෙළීමට සේවකයින් එවන ලෙස අස්වැන්නේ ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්නැ” යි පැවසූ සේක.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">උන්වහන්සේ තම ගෝලයින් දොළොස් දෙනා තමන් වෙත කැඳවා, අපවිත්‍ර ආත්ම දුරු කිරීමටත්, සියලු රෝග හා සියලු ආබාධ සුව කිරීමටත් ඔවුනට බලය පැවරූ සේක.</verse>
				<verse number="2">අපෝස්තුලුවරු දොළොස් දෙනාගේ නාම මෙසේ ය: පළමුවෙන්, පේතෘස් නමින් හැඳින්වුණු සීමොන් හා ඔහුගේ සහෝදර අන්දෘ; සෙබදීගේ පුත්‍ර යාකොබ් හා ඔහුගේ සහෝදර යොහන්;</verse>
				<verse number="3">පිලිප් හා බර්තොලමෙව්; තෝමස් හා බදු අය කරන්නා වූ මතෙව්; අල්පෙවුස්ගේ පුත්‍ර යාකොබ් හා තද්දෙවුස්;</verse>
				<verse number="4">ජ්වලිතයා යයි නම් ලත් සීමොන් හා උන්වහන්සේ පාවා දුන් යූදස් ඉස්කාරියොත් ය.</verse>
				<verse number="5">යේසුස්වහන්සේ එම දොළොස් දෙනාට මෙසේ උපදෙස් දෙමින්, ඔවුන් පිටත් කර හැරිය සේක: “අන්‍ය-ජාතීන් අතර කිසි තැනකට හෝ සමාරියයන්ගේ කිසි නගරයකට ඇතුළු නො වී,</verse>
				<verse number="6">ඉශ්‍රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙතටම යන්න.</verse>
				<verse number="7">ගොසින්, ‘ස්වර්ග රාජ්‍යය ළං වී ඇත’ කියා ප්‍රකාශ කරන්න.</verse>
				<verse number="8">රෝගීන් සුව කරන්න; මළවුන් නැගිටුවන්න. කුෂ්ඨ රෝගීන් පවිත්‍ර කරන්න; යක්ෂාත්මයින් දුරු කරන්න. ඔබ ලද්දේ නොමිලයේයි; නොමිලේම දෙන්න.</verse>
				<verse number="9">“රන්, රිදී, තඹ යන කිසිවක් ඔබේ ඉඟ පටියේ නො ගෙන යන්න.</verse>
				<verse number="10">ගමනට, ගමන් මල්ලක්, අමතර ඇඳුමක්, පාවහන් හෝ සැරයටියක් යන කිසිවක් නො ගෙන යන්න. මන්ද සේවකයා ඔහුගේ භෝජනය ලබන්නට සුදුසු ය.</verse>
				<verse number="11">ඔබ යම් නගරයකට හෝ ගමකට හෝ ඇතුළු වන කල, සුදුසු කෙනකු සොයා බලා, එපෙදෙසින් නික්ම යන තෙක් එහිම නවාතැන් ගන්න.</verse>
				<verse number="12">ඔබ ඒ නිවසට ඇතුළු වන කල, ඊට සුබ පතන්න.</verse>
				<verse number="13">ඒ නිවස ඊට සුදුසු නම්, ඔබගේ සාමය එහි පවතීවා; එහෙත් එය ඊට නුසුදුසු නම්, ඔබගේ සාමය ආපසු ඔබ වෙත ඒවා.</verse>
				<verse number="14">කිසි කෙනකු නො පිළිගැනේ නම් හෝ ඔබගේ වචනවලට සවන් නො දේ නම්, ඔබ ඒ නගරයෙන් හෝ ඒ නිවසින් පිටත්ව යන කල, ඔබේ පා දූලි ගසා දමා යන්න.</verse>
				<verse number="15">සැබවින් ම මා ඔබට කියන්නේ, විනිශ්චය දවසේදී ඒ නගරයට වඩා, සොදොම් හා ගොමොරා දේශයට දැරිය හැකි වන බවයි.</verse>
				<verse number="16">“මෙන්න! මා දැන් ඔබ පිටත් කර යවන්නේ, වෘකයින් මැදට බැටළුවන් ලෙසයි. එබැවින් සර්පයින් මෙන් විචක්ෂණව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න.</verse>
				<verse number="17">මිනිසුන්ගෙන් පරෙස්සම් වන්න; ඔවුන් උසාවිවලට ඔබ අල්ලා දී, ඔවුන්ගේ සිනගෝගවලදී ඔබට කස පහර දෙනු ඇත.</verse>
				<verse number="18">මා නිසා ආණ්ඩුකාරයින් හා රජුන් ඉදිරියට ඔබ ඇදගෙන යනු ඇත. ඒ, ඔවුන්ටත්, විජාතිකයින්ටත් සාක්ෂි දරන පිණිසයි.</verse>
				<verse number="19">එහෙත් ඔවුන් ඔබ පාවා දුන් කල, කිව යුත්තේ කෙසේ ද, කිව යුත්තේ කුමක් ද යන්න ගැන කනස්සලු නො වන්න. ඔබ කිව යුතු දෑ ඒ පැයේදී ඔබට දෙනු ලැබේ.</verse>
				<verse number="20">මන්ද එවිට කතා කරන්නේ ඔබ නො වේ; ඔබගේ පියාණන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඔබ තුළින් කතා කරන සේක.</verse>
				<verse number="21">“සහෝදරයා තම සහෝදරයා ද පියා තම දරුවා ද මරණයට පාවා දෙනු ඇත; දරුවන් තම දෙමවුපියනට එරෙහිව නැගිට, ඔවුන් මරණයට පත් කරනු ඇත.</verse>
				<verse number="22">සැවොම මාගේ නාමය නිසා ඔබට වෛර කරනු ඇත. එහෙත් අවසානය දක්වා නො සැලී ස්ථිරව සිටින්නා, ගලවනු ලබනු ඇත.</verse>
				<verse number="23">එක් නගරයකදී ඔබට පීඩා කරන කල, වෙනත් එකකට පලා යන්න. මනුෂ්‍ය පුත්‍රයාණන් එන්නට පෙර ඉශ්‍රායෙල් නගර සියල්ලෙහි සැරිසරා නිම කරන්නට ඔබට නො ලැබෙන බව සැබවින් ම මම ඔබට කියමි.</verse>
				<verse number="24">“ගෝලයෙක් තම ගුරුවරයාට වඩා උසස් නැත; සේවකයෙක් තම ස්වාමියාට වඩා උසස් නැත.</verse>
				<verse number="25">තම ගුරුවරයා හා සමාන වීම ගෝලයාටත්, තම ස්වාමියා හා සමාන වීම සේවකයාටත් සෑහෙයි. ගෘහ මූලිකයා බෙල්සෙබුල් යයි කියන ලද්දේ නම්, ඔහුගේ ගෘහ වාසීහු ඊට කොපමණ වැඩියෙන් අපහාස නො ලබත් ද?</verse>
				<verse number="26">“එබැවින් ඔවුනට බිය නො වන්න. එළිදරවු නො වන සේ සඟවන ලද කිසිවක් නැත. දැනගනු නො ලබන සේ වසන් කරන ලද කිසිවක් ද නැත.</verse>
				<verse number="27">අඳුරේ මා ඔබට කියන දෑ, ආලෝකයේදී පවසන්න. ඔබේ කනට කොඳුරා කී දෑ, ගෙපියසි උඩදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න.</verse>
				<verse number="28">ශරීරය නසා දමන නමුදු, ජීවාත්මය නැසිය නො හැකි අයට බය නො වන්න. එහෙත් සිරුරත්, ජීවාත්මයත් නිරයේ විනාශ කළ හැකි තැනැන්වහන්සේට බය වන්න.</verse>
				<verse number="29">ගේ කුරුල්ලන් දෙදෙනකු තුට්ටුවකට විකුණනවා නො වේ ද? එහෙත් උන්ගෙන් එකකුවත් ඔබේ පියාණන්වහන්සේ නො දැන බිම වැටෙන්නේ නැත.</verse>
				<verse number="30">ඔබගේ හැම හිස කෙසක් පවා ගණන් කොට ඇත.</verse>
				<verse number="31">එබැවින් බය නො වන්න! ගේ කුරුල්ලන් රාශියකටත් වඩා ඔබ වටී.</verse>
				<verse number="32">“මිනිසුන් ඉදිරියේ මා පිළිගන්නා හැම කෙනකුම ස්වර්ගයේ සිටින මාගේ පියාණන්වහන්සේ ඉදිරියේ මමත් පිළිගනිමි.</verse>
				<verse number="33">එහෙත් මිනිසුන් ඉදිරියේ මා ප්‍රතික්ෂේප කරන කවරකු වුවත් ස්වර්ගයේ සිටින මාගේ පියාණන්වහන්සේ ඉදිරියේ මමත් ප්‍රතික්ෂේප කරමි.</verse>
				<verse number="34">“පොළොව පිටට සාමය ගෙනෙන්නට මා ආවා යයි නො සිතන්න. මා ආවේ කඩුවක් මිස සාමය ගෙනෙන්නට නො වේ;</verse>
				<verse number="35">මන්ද මා ආවේ, “ ‘මිනිසකු තම පියාට එරෙහිව ද, දුවක ඇගේම මවට එරෙහිව ද, ලේලියක ඇගේ නැන්දණියට එරෙහිව ද හරවන්නටයි.</verse>
				<verse number="36">කෙනකුගේ එදිරිවාදීන් වන්නේ තමන්ගේ නිවැසියන්ම ය.’</verse>
				<verse number="37">“තම පියාට හෝ මවට හෝ මට වඩා ප්‍රේම කරන කවුරුන් වුවත්, මට සුදුසු නො වේ; තම පුත්‍රයාට හෝ දියණියට හෝ මට වඩා ප්‍රේම කරන කවුරුන් වුවත්, මට සුදුසු නො වේ.</verse>
				<verse number="38">තමාගේ කුරුසිය ගෙන, මා අනුව නො එන කවුරුන් වුවත්, මට සුදුසු නො වේ.</verse>
				<verse number="39">තම ජීවිතය රැක ගන්නට සොයන්නා, එය අහිමි කරගනී; මා නිසා තම ජීවිතය අහිමි කරගන්නාට එය සම්භ වේ.</verse>
				<verse number="40">“ඔබ පිළිගන්නා මා පිළිගනියි. මා පිළිගන්නා මා එවූ තැනැන්වහන්සේ පිළිගනියි.</verse>
				<verse number="41">දිවැසිවරයකු, දිවැසිවරයකු නිසා පිළිගන්නා, දිවැසිවරයකුගේ ඉටු විපාක ලබයි. ධර්මිෂ්ඨයකු, ධර්මිෂ්ඨයකු නිසා පිළිගන්නා, ධර්මිෂ්ඨයකුගේ ඉටු විපාක ලබයි.</verse>
				<verse number="42">මාගේ ගෝලයකු නිසාම මොවුන්ගෙන් ඉතා සුළු කෙනකුට වුව, ඇල් වතුර කෝප්පයක් දෙන කෙනකු නිසැකයෙන්ම එහි පල විපාක ඔහුට නැති නො වන බව සැබවින් ම මම ඔබට කියමි.”</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">තම ගෝලයින් දොළොස් දෙනාට උපදෙස් දී නිම වූ පසු, යේසුස්වහන්සේ ඔවුන්ගේ නගරවල ඉගැන්වීමටත්, දේශනා කිරීමටත් නික්ම ගිය සේක.</verse>
				<verse number="2">මේ අතර, ක්‍රිස්තුස්වහන්සේගේ ක්‍රියා ගැන සිරගෙදරදී ඇසූ යොහන්, තම ගෝලයින් අත අසා යවමින්,</verse>
				<verse number="3">“එන්නට සිටි තැනැත්තාණන් ඔබ ද? නැතහොත් අප අන් කෙනකු බලා සිටිය යුතු දැ?” යි විමසී ය.</verse>
				<verse number="4">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ අසන, දකින දෑ යොහන්ට ගොසින් කියන්න.</verse>
				<verse number="5">අන්ධයෝ පෙනීම ලබති; කොරු ඇවිදිති; කුෂ්ඨ රෝගීහු පවිත්‍ර කෙරෙති; බිහිරි අය ඇසීම ලබති. මළාහු නැගිටුවනු ලබති. දිළිඳුනට ශුභාරංචිය ප්‍රකාශ කරනු ලැබේ.</verse>
				<verse number="6">මා ගැන නො පැකිළෙන තැනැත්තා භාග්‍යවතෙකැ” යි පැවසූ සේක.</verse>
				<verse number="7">ඔවුන් නික්ම යත්ම, යේසුස්වහන්සේ ජන සමූහයාට යොහන් ගැන කතා කරන්නට වී, “ඔබ පාළුකරයට පිටත්ව ගියේ කුමක් බලන්න ද? සුළඟින් සැලෙන බට ගසක් බලන්න ද?</verse>
				<verse number="8">එසේ නම්, ඔබ ගියේ කුමක් බලන්න ද? සිනිඳු සේල සළු පිළි හැඳි මිනිසකු බලන්න ද? නැත, සිනිඳු සළු පිළි හැඳි අය සිටින්නේ රජ මාලිගාවලයි.</verse>
				<verse number="9">එසේ නම් ඔබ ගියේ කුමක් බලන්න ද? දිවැසිවරයකු ද? ඔව්, මා ඔබට කියන්නේ, දිවැසිවරයකුටත් වඩා උතුම් කෙනකු ය කියායි.</verse>
				<verse number="10">මන්ද, “ ‘මෙන්න මාගේ දූතයා ඔබට පෙරටුව යවමි. ඔබට පෙරටුව ඔබගේ මාර්ගය සකසන්නේ ඔහු යැ’යි ලියා ඇත්තේ ඔහු ගැන ය.</verse>
				<verse number="11">“සැබවින් ම මා ඔබට කියන්නේ, ස්ත්‍රීන්ගෙන් උපන්නවුන් අතරේ යොහන් බව්තීස්තට වඩා උතුම් කෙනෙක් නො නැගුටුණු බවයි; එහෙත් ස්වර්ග රාජ්‍යයේ ඉතාම සුළු තැනැත්තා පවා ඔහුට වඩා උතුම් ය.</verse>
				<verse number="12">යොහන් බව්තීස්තගේ දවස්වල පටන් අද දක්වා, ස්වර්ග රාජ්‍යය සැහැසිකමට ලක් වී තිබේ. සැහැසිකම් කරන්නෝ බලහත්කාරයෙන් එය අල්ලා ගනිති.</verse>
				<verse number="13">මන්ද යොහන් දක්වා සියලු දිවැසිවරු හා දහම් නීතිය, දිවැසි වැකි පළ කළහ.</verse>
				<verse number="14">ඔබ පිළිගන්නට කැමති නම්, එන්නට සිටි එලියා මොහුයි.</verse>
				<verse number="15">අසන්නට කන් ඇත්තා අසත්වා!</verse>
				<verse number="16">“මම මේ පරම්පරාවේ ජනයා කුමකට සමාන කරම් ද? එය සමාන වන්නේ, කඩ-මණ්ඩියේ හිඳ තම සගයනට මෙසේ හඬ ගසන දරුවනටයි:</verse>
				<verse number="17">“ ‘අප ඔබට නළා පිම්බා, කෝ! ඔබ නැටුවේ නෑ; අප විලාප ගී ගැයුවා; ඔබ හැඬුවේ නෑ යි’ කියන්නන්ටයි.</verse>
				<verse number="18">මන්ද යොහන් පැමිණියේ කන්නේවත්, බොන්නේවත් නැතිවයි. එවිට ‘ඔහුට යක්ෂාත්මයක් වැහිලා’ යි කී ඔවුහු,</verse>
				<verse number="19">මනුෂ්‍ය පුත්‍රයා කමින්, බොමින් ආ කල, ‘මෙන්න බලන්න! කෑදරයෙක්; බේබද්දෙක්; බදු අයකරන්නන්ගේ හා පව්කරුවන්ගේ මිතුරෙකැ’ යි කියති. එහෙත් ප්‍රඥාව නිවැරදි බව එහි ක්‍රියාවලින්ම ඔප්පු වී ඇත.”</verse>
				<verse number="20">ඉන්පසු උන්වහන්සේ තමන් කළ බලවත් ක්‍රියා වැඩියෙන්ම සිදු කළ නගරවලට තරවටු කරන්නට වූයේ ඒවා පසුතැවිලි නො වූ නිසා ය.</verse>
				<verse number="21">“අහෝ කොරාසීනය, ඔබට වන විපතක මහත! අහෝ බෙත්සයිදා, ඔබට වන විපතක මහත! මන්ද නුඹ දෙපොලේ කරන ලද බලවත් ක්‍රියා තීර් හා සීදොන්හි දී කරන ලද නම්, මීට බොහෝ කලින් ඔවුන් ගෝණි පඩංගු හැඳ, අළු මත හිඳ පසුතැවිලි වන්නට තිබිණි.</verse>
				<verse number="22">එහෙත් මා ඔබට කියන්නේ විනිශ්චය දවසේදී තීර්ට හා සීදොන්ට ඔබට වඩා දැරිය හැකි වන බවයි.</verse>
				<verse number="23">එම්බා කපර්ණවුම, නුඹ ස්වර්ගය දක්වා උසස් කරනු ලැබේ ද? නැත! නුඹ පාතාලය දක්වා පහත් කරනු ලබනු ඇත. නුඹ තුළ සිදු කළ බලවත් ක්‍රියා සොදොම් තුළ කරන ලද්දේ වී නම්, එය අද දක්වාමත් පවතින්ට තිබිණි.</verse>
				<verse number="24">මා ඔබට කියන්නේ, විනිශ්චය දවසේ ඔබට වඩා සොදොමට දැරිය හැකි වන බවයි.”</verse>
				<verse number="25">ඒ අවස්ථාවේදී යේසුස්වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක, “ස්වර්ගයට හා පොළොවට ස්වාමියාණන් වූ පියාණන්වහන්ස, ඔබවහන්සේ ප්‍රඥාවතුන්ගෙන් හා උගතුන්ගෙන් මේ දෑ සඟවා, ළා-බාලයින්හට එළිදරවු කළ බැවින් මම ඔබට ස්තුති කරමි.</verse>
				<verse number="26">එසේය පියාණෙනි, ඔබගේ ප්‍රිය මනාපය වූයේ එයයි.</verse>
				<verse number="27">“මගේ පියාණන්වහන්සේ සියලු දේ මට බාර දී ඇත. පියාණන්වහන්සේ හැර, අන් කිසිවෙක් පුත්‍රයාණන් කවුදැයි හඳුනන්නේ නැත. එසේම පුත්‍රයාණන් හා පුත්‍රයාණන් විසින් යමකුට පියාණන්වහන්සේ එළිදරවු කිරීමට තෝරාගත් අය ද හැර, අන් කිසිවෙක් පියාණන්වහන්සේ හඳුනන්නේ නැත.</verse>
				<verse number="28">“වෙහෙස වෙන, බර උසුලන සියල්ලෙනි, මා වෙත එන්න. මම ඔබට සහනය දෙමි.</verse>
				<verse number="29">මා හදවතින් මෘදුව, යටහත්ව සිටින බැවින් මගේ වියගහ කරට ගෙන, මගෙන් ඉගෙන ගන්න; එවිට ඔබගේ ජීවාත්මයට සහනය ලැබේ.</verse>
				<verse number="30">මන්ද මගේ වියගහ පහසු ය; මගේ බර ද සැහැල්ලු ය.”</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">එකල යේසුස්වහන්සේ සබත් දවසේදී කුඹුරු යායක් මැදින් ගමන් ගත් සේක. කුසගිනි වූ උන්වහන්සේගේ ගෝලයෝ, ධාන්‍ය කරල් කඩා, කන්නට වූහ.</verse>
				<verse number="2">පරිසිවරු ඒ දැක, “බලන්න! ඔබගේ ගෝලයෝ සබතේදී නීති විරෝධී දෙයක් කරති” යි කීහ.</verse>
				<verse number="3">උන්වහන්සේ පිළිතුරු දෙමින්, “වරක් තමාටත්, තම සගයින්ටත් කුසගිනි වූ විට දාවිත් කළ දේ ඔබ කියවා නැද්ද?</verse>
				<verse number="4">ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල්ව, පූජකයනට විනා ඔහුටත්, තම සගයින්ටත් කෑමට අකැප පිදුම් රොටි ගෙන කෑ හැටි?</verse>
				<verse number="5">නොහොත්, දේව මාලිග පූජකයින් සබතේදී සබත් නීති කඩ කළ පසුව ද, නිදොස්ව සිටින බැව් දහම් නීතියෙහි ඔබ කියවා නැද්ද?</verse>
				<verse number="6">මා ඔබට කියන්නේ, දේව මාලිගයට වඩා උතුම් කෙනෙක් මෙහි සිටින වගයි.</verse>
				<verse number="7">‘මම පූජාවට නො ව දයාවට ආශා වෙමි’ යන්නෙහි අරුත ඔබ දැන සිටියා නම්, නිදොස් අයට වරද තබන්නේ නැත.</verse>
				<verse number="8">මන්ද මනුෂ්‍ය පුත්‍රයාණෝ සබත් දවසේ ස්වාමියාණෝ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="9">උන්වහන්සේ එතැනින් නික්ම, ඔවුන්ගේ සිනගෝගයට ඇතුල් වූ සේක.</verse>
				<verse number="10">අතක් අප්‍රාණික මිනිසෙක් ද එහි විය. “සබතේදී සුව කිරීම නිත්‍යානුකූල දැ?” යි ඔවුහු උන්වහන්සේගෙන් ඇසූහ. ඔවුන් එසේ ඇසුවේ උන්වහන්සේට චෝදනා කරන අටියෙනි.</verse>
				<verse number="11">උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ අතරේ කෙනකුට බැටළුවකු සිටින්නේ නම්, සබතකදී ඌ වළක වැටුණොත්, ඔබ ඌ අල්ලා ගොඩ ගන්නේ නැති ද?</verse>
				<verse number="12">බැටළුවකුට වඩා මිනිසකු කොතරම් වටිනවා ද! එබැවින්, සබත් දවසේ යහපත කිරීම නිත්‍යානුකූල යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="13">ඉන්පසු උන්වහන්සේ, “ඔබේ අත දිගු කරන්නැ” යි ඒ මිනිසාට කී විට, ඔහු එය දිගු කළේ ය; එය මුළුමනින් ප්‍රකෘතිමත්ව අනික් අත මෙන් යථා තත්වයට පත්ව තිබිණි.</verse>
				<verse number="14">එහෙත් පරිසිවරු එතැනින් නික්ම ගියාහු, උන්වහන්සේ මරා දමන්නේ කෙසේදැයි කුමන්ත්‍රණ කළහ.</verse>
				<verse number="15">යේසුස්වහන්සේ ඒ වග දැන, එතැනින් පිටත්ව ගිය සේක. බොහෝ දෙනෙක් උන්වහන්සේ පසුපස ගියහ. උන්වහන්සේ ඔවුන් සියල්ලන් සුව කළ සේක්,</verse>
				<verse number="16">තමා කවුරුන්දැයි ප්‍රසිද්ධ නො කරන ලෙස ඔවුනට අණ කළ සේක.</verse>
				<verse number="17">මෙසේ වූයේ දිවැසිවර යෙසායා විසින් පවසන ලද කියමන ඉටු වන පිණිස ය:</verse>
				<verse number="18">“මෙන්න, මා තෝරාගත් මගේ සේවකයා, මාගේ ජීවය සොම්නස් කරවන, මා ප්‍රේම කරන තැනැත්තා; ඔහු පිට මම මාගේ ආත්මයාණන් තබමි. ඔහු ජාතීනට යුක්තිය ප්‍රකාශ කරනු ඇත.</verse>
				<verse number="19">ඔහු දබර කරන්නේවත්, මොරහඬ නගන්නේවත් නැත; ඔහුගේ කටහඬ වීදිවලදී කිසිවකුට ඇසෙන්නේ නැත.</verse>
				<verse number="20">ඔහු යුක්තිය, ජයට පත් කරන තෙක්, තැළුණු බට දණ්ඩක් කඩන්නේවත්, දුම් නගින පහන් තිරයක් නිවන්නේවත් නැත.</verse>
				<verse number="21">ඔහුගේ නාමය තුළ ජාතීහු බලාපොරොත්තු තබනු ඇත.”</verse>
				<verse number="22">ඉන්පසු යක්ෂාත්මයක් වැහුණු, අන්ධවූත්, ගොළුවූත් මිනිහෙක් උන්වහන්සේ වෙත ගෙනෙන ලදී. කතා කරන්නටත්, දකින්නටත් හැකි වන සේ උන්වහන්සේ ඔහු සුව කළ සේක.</verse>
				<verse number="23">සියලු ජනයා විස්මිත වී, “මේ දාවිත්ගේ පුත්‍රයාණන්වත් දෝ?” යි පැවසූහ.</verse>
				<verse number="24">එහෙත් පරිසිවරුනට එය සැල වූ කල, “මොහු යක්ෂාත්මයන් දුරු කරන්නේ යක්ෂාධිපති බෙල්සෙබුල් මඟින් පමණි” යි කීහ.</verse>
				<verse number="25">උන්වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන, ඔවුන් අමතමින්, “එයටම එරෙහිව බෙදුනු හැම රාජ්‍යයක් බිඳ වැටෙයි. එයටම එරෙහිව බෙදුනු නගරයක් හෝ ගෙදරක් හෝ පවතින්නේ නැත.</verse>
				<verse number="26">සාතන් විසින් සාතන් දුරු කරනු ලබන්නේ නම්, ඔහු තමන්ටම එරෙහිව බෙදී සිටියි. එසේ නම් ඔහුගේ රාජ්‍යය පවතින්නේ කෙසේ ද?</verse>
				<verse number="27">මා යක්ෂාත්ම දුරු කරන්නේ බෙල්සෙබුල් මඟින් නම්, ඔබේ පුතුන් උන් දුරු කරන්නේ, කවරකු මඟින් ද? එබැවින්, ඔවුන්ම ඔබගේ විනිශ්චයකරුවන් ය.</verse>
				<verse number="28">එනමුත් මා යක්ෂාත්මයන් දුරු කරන්නේ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මඟින් නම්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබ කෙරේ පැමිණ ඇත.</verse>
				<verse number="29">“පළමු කොට බලවන්තයා බැඳ දැමුවොත් මිස, බලවතකුගේ ගෙට ඇතුළු වී, ඔහු සතු දේ පැහැර ගත හැක්කේ කවරකුට ද? ඔහු බැඳ දැමූ පසු, ඔහුගේ ගේ කොල්ලකත හැකියි.</verse>
				<verse number="30">“මා සමඟ නො වන තැනැත්තා මට විරුද්ධ ය. මා හා එක්රැස් නො කරන්නා විසුරුවා හරියි.</verse>
				<verse number="31">එබැවින් මා ඔබට කියන්නේ, හැම පාපයකට හා හැම දේවාපහාසයකට මිනිසාට කමාව දෙනු ලබන බවයි; එහෙත් ආත්මයාණන්වහන්සේට එරෙහිව නගන දේවාපහාසයට කමාවක් නැත.</verse>
				<verse number="32">මනුෂ්‍ය-පුත්‍රයාට එරෙහි වචනයක් පවසන කවරකුට වුව, කමා කරනු ලැබේ. එහෙත් ශුද්ධාත්මයාණන්ට එරෙහිව කතා කරන කවරකුට වුව, මේ යුගයේදීවත්, මතු පැමිණෙන යුගයේදීවත් කමා කරනු නො ලැබේ.</verse>
				<verse number="33">“ගස හොඳ වූ කල, එහි පල ද හොඳ වෙයි. ගස නරක් වූ කල, එහි පල ද නරක් වේ. මන්ද ගස හැඳින ගන්නේ එහි පලවලිනි.</verse>
				<verse number="34">පොළොං වංශය, දුෂ්ට වූ නුඹලා යහපත පවසන්නේ කොහොම ද? මන්ද කටින් පිට වන්නේ ඔහුගේ හදෙහි පිරී ඇති දෙයිනි.</verse>
				<verse number="35">හොඳ මනුෂ්‍යයා, තමන් තුළ නිදන්ගත හොඳ දෑ ද නපුරු මිනිසා තමන් තුළ නිදන්ගත නපුරු දෑ ද පිටතට ගෙනේ.</verse>
				<verse number="36">එබැවින් මා ඔබට කියන්නේ, විනිශ්චය දවසේදී ජනයාට තමන් පවසන හැම නො සැලකිලි වචනයක් ගැනම ගණන් දීමට සිදුවන බවයි.</verse>
				<verse number="37">මන්ද ඔබ නිදොස් කරන්නේ ඔබේම වචන මඟිනි. ඔබ වරදට පත් කරන්නේ ද ඔබේම වචන මඟිනි” යි පැවසූ සේක.</verse>
				<verse number="38">එකල දහම් පඬිවරු හා ඇතැම් පරිසිවරු උන්වහන්සේ අමතමින්, “ගුරුතුමනි, ඔබගෙන් ලකුණක් දකින්නට අප කැමති” යි කීහ.</verse>
				<verse number="39">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “දුෂ්ටවූත් පරදාරිකවූත් පරම්පරාවක් ලකුණක් ඉල්ලයි. එහෙත් දිවැසිවර යෝනාගේ ලකුණ මිස, අන් ලකුණක් ඔවුන්ට දෙනු නො ලැබේ.</verse>
				<verse number="40">යෝනා, යෝධ මත්ස්‍යයාගේ බඩේ දහවල තුනක් හා රෑ තුනක් සිටි සේ ම, මනුෂ්‍ය පුත්‍රයාණන් ද පොළෝ හද ගැබෙහි දහවල තුනක් හා රෑ තුනක් සිටිනු ඇත.</verse>
				<verse number="41">නිනිවයේ මිනිසුන් විනිශ්චයේදී මේ පරම්පරාව සමඟ නැගිට, මොවුන් වරදට පත් කරනු ඇත; මන්ද යෝනාගේ දේශනාවෙන් ඔවුහු පසුතැවිලි වූහ. දැන් මෙන්න! යෝනාට වඩා උතුම් කෙනෙක් මෙහි සිටී.</verse>
				<verse number="42">දකුණු දිශාවේ රැජින විනිශ්චයේදී මෙම පරම්පරාව සමඟ නැගිට, මොවුන් වරදට පත් කරනු ඇත. මන්ද සලමොන්ගේ ප්‍රඥාවට සවන් දෙන පිණිස ඕ පොළෝ කෙළවරේ සිට ආවා ය. දැන් මෙන්න! සලමොන්ට වඩා උතුම් කෙනෙක් මෙහි සිටී.</verse>
				<verse number="43">“අශුද්ධ ආත්මයක් මිනිසකුගෙන් දුරුව ගිය පසු, දිය නැති තැන්හි යමින්, නවාතැන් සොයා, එය නො ලැබුණ කල,</verse>
				<verse number="44">‘මා පිට වී ආ නිවසටම ආපසු යමි’ යි කියයි. එසේ ආ කල, ඒ නිවස හිස්ව, අතුගා, පවිත්‍ර කොට, නිසි පිළිවෙලකට තබා තිබෙනු දකියි.</verse>
				<verse number="45">එවිට ඔහු පිටත්ව ගොස්, තමාටත් වඩා දුෂ්ට වූ තවත් යක්ෂාත්ම හත්දෙනකු සමඟ අවුත්, ඇතුළු වී, එහි පදිංචි වෙයි. එවිට ඒ මිනිසාගේ අවසන් තත්වය පළමු තත්වයටත් වඩා නරක් වෙයි. මේ දුෂ්ට පරම්පරාවේ තත්වය ද එයම වෙතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="46">උන්වහන්සේ සමූහයා අමතමින් සිටියදී උන්වහන්සේගේ මෑණියන් හා සහෝදරයින් පැමිණ, උන්වහන්සේ හා කතා කරන අටියෙන් පිටතට වී සිටියහ.</verse>
				<verse number="47">එවිට එහි සිටි කෙනෙක්, “අන්න, ඔබේ මෑණියන් හා සහෝදරයින් ඔබට කතා කරන පිණිස පිටත සිටිනවා” යි උන්වහන්සේට කීවේ ය.</verse>
				<verse number="48">එවිට උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මාගේ මෑණියන් හා මගේ සහෝදරයින් කවුරු දැ?” යි පවසා,</verse>
				<verse number="49">තම ගෝලයින් දෙස අත දිගු කරමින්, “මෙන්න මගේ මෑණියන් හා මගේ සහෝදරයින්;</verse>
				<verse number="50">ස්වර්ගයේ සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන කවරෙක් වුව මාගේ සහෝදරයා ද සහෝදරිය ද මෑණියන් ද වෙතැ” යි පැවසූ සේක.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">ඒ දවසේම යේසුස්වහන්සේ නිවසින් පිටත්ව, මුහුද අද්දර හිඳගත් සේක.</verse>
				<verse number="2">විශාල ජනකායක් උන්වහන්සේ වටා රොක්වූයෙන් උන්වහන්සේ ඔරුවකට නැග, එහි හිඳගත් සේක. මුළු ජනකායම වෙරළේ සිටගෙන වුන්හ.</verse>
				<verse number="3">උන්වහන්සේ මෙසේ කියමින් ඔවුන්ට උපමා මඟින් බොහෝ දෑ පවසන්නට වන් සේක: “වපුරන්නෙක් බීජ වපුරන්නට පිටත්ව ගියේ ය.</verse>
				<verse number="4">ඔහු බීජ ඉසිද්දී ඉන් සමහරක් මඟ දිගේ වැටිණි. කුරුල්ලෝ ඇවිත් ඒවා කා දැමූහ.</verse>
				<verse number="5">සමහරක්, එතරම් පස් නො තිබූ ගල් බිමේ වැටිණි. පස් නො ගැඹුරු බැවින් ඒවා ඉක්මනින් පැළවිණි.</verse>
				<verse number="6">එහෙත් හිරු නැගුණ කල ඒවා කරවී, මුල් නොමැතිකමින් වියළී ගියේ ය.</verse>
				<verse number="7">අන් බීජ කටු පඳුරු අතරේ වැටුණි. කටු පැළ වැවී ඒවා යට කර දැමී ය.</verse>
				<verse number="8">සෙසු බීජ සරු බිමෙහි වැටී, සිය ගුණයක්, හැට ගුණයක් හා තිස් ගුණයක් යන වශයෙන් අස්වැන්න ඉපද වීය.</verse>
				<verse number="9">කන් ඇත්තා අසත්වා!”</verse>
				<verse number="10">එවිට ගෝලයෝ උන්වහන්සේ වෙත අවුත්, “ඔබ ජනයාට උපමා මඟින් කතා කරන්නේ මන්දැ?” යි ඇසූහ.</verse>
				<verse number="11">උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ස්වර්ග රාජ්‍යයේ රහස් දැනගැනීමට ඔබට වර දී තිබේ; එහෙත් ඔවුනට දී නැත.</verse>
				<verse number="12">ඇති තැනැත්තාට වඩ වඩා දෙනු ලැබේ; ඔහුට අධිකව ලැබේ. නැති තැනැත්තාගෙන් ඔහුට ඇති දේත් ගනු ලැබේ.</verse>
				<verse number="13">මා ඔවුනට උපමාවලින් කතා කරන්නේ එබැවිනි. මන්ද: “පෙනි-පෙනීත් ඔවුන් දකින්නේ නැත; ඇසි-ඇසීත් ඔවුන් අසන්නේ නැත; ඔවුන් වටහා ගන්නේ ද නැත.</verse>
				<verse number="14">ඔවුන් ගැන යෙසායාගේ මෙම අනාවැකිය ඉටු වෙයි: “ ‘නිබඳව ඔබ අසන නමුදු කිසි විටෙක වටහා ගන්නේ නැත; නිබඳව ඔබ දකින නමුදු කිසි විටෙක තේරුම් ගන්නේ නැත.</verse>
				<verse number="15">මන්ද මේ ජනයාගේ හදවත් දැඩි වී ඇත; තම කන්වලින් ඔවුන් අසන්නේ නැති තරම් ය; තම ඇස් ඔවුන් වසාගෙන ඇත. එසේ නො විණි නම්, ඔවුන් තම ඇස්වලින් බලා, තම කන්වලින් අසා, තම හදවත්වලින් තේරුම් ගෙන, මා වෙත හැරෙන්නට තිබිණි. මා ද ඔවුන් සුව කරන්නට තිබිණි’ යන්නයි.</verse>
				<verse number="16">“එහෙත් ඔබගේ ඇස් භාග්‍යවත් ය. මන්ද ඒවාට පෙනේ. ඔබගේ කන් භාග්‍යවත් ය. මන්ද ඒවාට ඇසේ.</verse>
				<verse number="17">සැබවින් ම මා ඔබට කියන්නම්; ඔබ දකින දේ දකින්නට දිවැසිවරු බොහෝ දෙනෙක් ද දමිටුන් බොහෝ දෙනෙක් ද මහත් සේ ආශා කළහ. එහෙත් ඔවුනට ඒවා දක්නට ලැබුණේ නැත. ඔබ අසන දේ අසන්නට ද ඔවුහු මහත් සේ ආශා කළහ. එහෙත් ඔවුනට ඒවා අසන්නට ලැබුණේ නැත.</verse>
				<verse number="18">“දැන්, වපුරන්නාගේ උපමාවේ අරුතට සවන් දෙන්න:</verse>
				<verse number="19">යමෙක් රාජ්‍යයේ ශුභාරංචි පණිවුඩය අසා, එය තේරුම් නො ගනී නම්, නපුරා අවුත්, ඔහුගේ හදෙහි වපුළ දේ ඩැහැ ගනී. මඟ දිගේ වපුළ බීජ නම් ඔහු ය.</verse>
				<verse number="20">ගල් බිමේ වපුළ බීජ නම්, වචනය අසා, එක්වරම එය සතුටින් පිළිගන්නා තැනැත්තා ය.</verse>
				<verse number="21">එහෙත් ඔහු තුළ මුල් නැති බැවින්, එය පවතින්නේ සුළු කලකි. වචනය නිසා පීඩා හෝ විපත්ති පැමිණි විගස, ඔහු වැටී යයි.</verse>
				<verse number="22">කටු අතරේ වැටුණු බීජ නම්, වචනයට සවන් යොමන නමුදු ලෝකයේ දුක් කරදර හා ධන සම්පත්හි මායාවෙන් වචනය යට කර දමන්නා ය. එය පල දරන්නේ නැත.</verse>
				<verse number="23">සරු බිමෙහි වැටුණු බීජ වන්නේ වචනය අසා එය වටහා ගන්නා ය. ඔහු පල දරන්නේ ය. සිය ගුණයක්, හැට ගුණයක් හා තිස් ගුණයක් බැගින් පල දරන්නේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="24">යේසුස්වහන්සේ ඔවුනට තවත් උපමාවක් පැවසූ සේක: “ස්වර්ග රාජ්‍යය, තම කුඹුරේ හොඳ බීජ වපුළ මිනිසකුට සමාන ය.</verse>
				<verse number="25">ඔහුගේ මිනිසුන් නිදා සිටින අතර, ඒ මිනිසාගේ සතුරා ඇවිත්, තිරිඟු අතරේ කිරිඳි වපුරා ගියේ ය.</verse>
				<verse number="26">පැළ මතු වී කරල් හටගත් කල, කිරිඳි ද ඒ අතරේ පෙනෙන්නට විය.</verse>
				<verse number="27">“එවිට ගෙහිමියා වෙත පැමිණි ඔහුගේ සේවකයෝ, ‘මහතාණනි, ඔබගේ කුඹුරේ ඔබ වපුළේ හොඳ තිරිඟු බීජ නො වේ ද? එසේ නම් මේ කිරිඳි පැළවී ඇත්තේ කෙසේ දැ?’ යි ඇසූහ.</verse>
				<verse number="28">“ ‘මේක සතුරකුගේ වැඩකැ’ යි ඔහු ඔවුන්ට පැවසී ය. “එවිට සේවකයෝ, ‘ඔබට ඕනෑ අප ගොස්, ඒවා උදුරා දමනවාට දැ?’ යි ඔහුගෙන් ඇසූහ.</verse>
				<verse number="29">“ඔහු පිළිතුරු දෙමින්, ‘නැත, ඔබ කිරිඳි උදුරද්දී ඒ සමඟ තිරිඟු ද ඉදිරෙන්නට පුළුවන.</verse>
				<verse number="30">අස්වනු කපන කාලය දක්වා දෙවගේම එකට වැඩෙන්නට හරින්න. අස්වනු කාලය ආවාම පළමුව කිරිඳි එකතු කොට, පුලුස්සන පිණිස ඒවා මිටි බඳින්න; එහෙත් තිරිඟු මගේ ධාන්‍යාගාරයේ රැස් කරන්න කියා අස්වනු නෙළන්නන්ට මම කියන්නෙමියි’ ” පැවසී ය.</verse>
				<verse number="31">උන්වහන්සේ ඔවුනට තවත් උපමාවක් පවසමින්, “ස්වර්ග රාජ්‍යය, මිනිසකු තම ගෙවත්තේ සිටුවන අබ ඇටයකට සමාන ය.</verse>
				<verse number="32">සියලු බීජ අතරින් ඉතාම කුඩා බීජය අබ වුව ද එය පැළවී වැඩුණ කල, අහස් පක්ෂීන් එහි අතුවල ලගින තරමේ ගසක් බවට පත්ව, පැළෑටි අතර විශාලතම ගස වේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="33">උන්වහන්සේ ඔවුනට තවත් උපමාවක් පවසමින්, “ස්වර්ග රාජ්‍යය, නැළි තුනක පිටි මුළුමනින් පිපෙන, ස්ත්‍රියක විසින් ඊට මුසු කරන ලද මුහුන්වලට සමාන යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="34">යේසුස්වහන්සේ, ජනයාට මේ හැම දේ පැවසුවේ උපමා මඟිනි; උපමාවකින් තොරව උන්වහන්සේ ඔවුනට කිසිවක්ම පැවසුවේ නැත.</verse>
				<verse number="35">මෙසේ වූයේ දිවැසිවරයා මඟින් පැවසුණු දෑ ඉටු වන පිණිස ය: “මම උපමාවලින් මගේ මුව විවර කරමි, ලෝකයේ අත්තිවාරම් ලූ තැන් පටන් සැඟවී තිබූ දෑ පවසන්නෙමි.”</verse>
				<verse number="36">ඉන්පසු උන්වහන්සේ සමූහයාගෙන් වෙන්ව නිවසට ගිය සේක. උන්වහන්සේ වෙත පැමිණි උන්වහන්සේගේ ගෝලයෝ, “කුඹුරේ කිරිඳි උපමාව අපට පහදා දෙන්නැ” යි කීහ.</verse>
				<verse number="37">උන්වහන්සේ පිළිතුරු දෙමින්, “හොඳ බීජ වපුළ තැනැත්තා මනුෂ්‍ය පුත්‍රයා ය.</verse>
				<verse number="38">කුඹුර මේ ලෝකයයි. හොඳ බීජ රාජ්‍යයේ පුත්‍රයෝ ය. කිරිඳි නපුරාගේ පුත්‍රයෝයි.</verse>
				<verse number="39">ඒවා වපුළ සතුරා, යක්ෂයායි. අස්වනු කාලය යුග අන්තයයි. අස්වනු නෙළන්නෝ දේව දූතයොයි.</verse>
				<verse number="40">“කිරිඳි උදුරනු ලැබ, ගින්නෙහි දැවූ සේ ම, යුග අන්තයේදීත් සිදුවනු ඇත.</verse>
				<verse number="41">මනුෂ්‍ය පුත්‍රයා තම දේව දූතයින් පිටත් කර යැවූ කල, ඔවුන් පවට හේතු වන හැම දේ හා නොපනත්කම් කරන සියල්ලන් උන්වහන්සේගේ රාජ්‍යයෙන් උදුරා,</verse>
				<verse number="42">ගිනි ඇවිළෙන උඳුනෙහි හෙළනු ඇත. එහිදී වැලපීමත්, දත්මිටි කෑමත් ඇති වෙයි.</verse>
				<verse number="43">එකල ධර්මිෂ්ඨයින් ඔවුන්ගේ පියාණන්වහන්සේගේ රාජ්‍යයෙහි හිරු මෙන් බබළනු ඇත. කන් ඇත්තා අසත්වා!</verse>
				<verse number="44">“ස්වර්ග රාජ්‍යය, කෙතක සඟවා තිබූ නිධානයකට සමාන ය. මිනිසකුට එය හමු වූ කල, ඔහු එය යළි සඟවා, සොම්නසින් පිටත්ව ගොස්, තමන් සතු හැම දේ විකුණා ඒ කෙත මිලට ගනී.</verse>
				<verse number="45">“තවද ස්වර්ග රාජ්‍යය, අගනා මුතු සොයා යන වෙළෙන්ඳකුට සමාන ය.</verse>
				<verse number="46">ඉතා අගනා මුතුවක් හමු වූ කල, ඔහු ගොස්, තමන් සතු හැම දේ විකුණා, එය මිලදී ගත්තේ ය.</verse>
				<verse number="47">“තවද ස්වර්ග රාජ්‍යය, මුහුදේ හෙළන ලදුව හැම වර්ගයකම මසුන් හසු වූ දැලකට සමාන ය.</verse>
				<verse number="48">එය පිරී ගිය කල, මිනිස්සු එය වෙරළට ඇද, පසෙකින් හිඳ, හොඳ මසුන් වට්ටිවලට තෝරා දමමින්, නරක එවුන් ඉවතට වීසි කළහ.</verse>
				<verse number="49">යුග අන්තයේදී සිදුවන්නේ ද එයයි. දේව දූතයින් අවුත්, ධර්මිෂ්ඨයින් වෙතින් දුෂ්ටයින් වෙන් කොට,</verse>
				<verse number="50">ගිනි ඇවිළෙන උඳුනෙහි ඔවුන් හෙළනු ඇත. එහිදී වැලපීමත්, දත්මිටි කෑමත් ඇති වෙයි.</verse>
				<verse number="51">“මේ සියල්ල ඔබ තේරුම් ගත්තා දැ?” යි ඇසූ සේක. “එසේ යැ” යි ඔවුහු පිළිතුරු දුන්හ.</verse>
				<verse number="52">“එබැවින් ස්වර්ග රාජ්‍යය ගැන ගෝලයකු බවට පත් වන දහම් පඬිවර හැම කෙනකුම තම වස්තු ගබඩාවෙන් පැරණි දෑ මෙන්ම අලුත් දෑ පිටතට ගෙනෙන ගෘහ මූලිකයකුට සමාන යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="53">යේසුස්වහන්සේ මෙම උපමා පවසා නිම වූ පසු එතැනින් නික්ම,</verse>
				<verse number="54">තම ගම් පෙදෙසට පැමිණ, ඔවුන්ගේ සිනගෝගයට ගොස්, ඔවුන්ට උගන්වන්නට වූ සේක. ඔවුහු විස්මිතව, “කොහෙන් ද මේ මිනිසාට මේ ප්‍රඥාව? මේ බලවත් ක්‍රියා?</verse>
				<verse number="55">මොහු වඩුවාගේ පුතා නො වේ ද? මොහුගේ මව මරියා නො වේ ද? යාකොබ්, යෝසෙප්, සීමොන් හා යූදස් මොහුගේ සහෝදරයින් නො වේ ද?</verse>
				<verse number="56">මොහුගේ සහෝදරියන් සැවොමත් අප අතරේම නො වෙත් ද? එසේ නම් මේ සියල්ල මොහුට ලැබුණේ කොතැනින් දැ?” යි කීහ.</verse>
				<verse number="57">මෙසේ ඔවුහු උන්වහන්සේට එරෙහි වූහ. එහෙත් යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “දිවැසිවරයකුට ඔහුගේම ගමෙන්, ඔහුගේම ගෘහ වාසීන්ගෙන් හැර, ගෞරවය නො ලැබී යන්නේ නැතැ” යි කී සේක.</verse>
				<verse number="58">ඔවුන්ගේ ඇදහිල්ලේ හීනතාවය නිසා, එහිදී උන්වහන්සේ ප්‍රබල ක්‍රියා බොහොමයක් සිදු නො කළ සේක.</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">මෙකල යේසුස්වහන්සේගේ කීර්තිය පිළිබඳව හෙරෝද් ප්‍රාන්ත රජුට අසන්ට ලැබුණේ ය.</verse>
				<verse number="2">තම මෙහෙකරුවන් ඇමතූ ඔහු, “මේ යොහන් බව්තීස්ත ය; ඔහු මරණින් නැගිට ඇතැයි ද, හාස්කම් බලය ඔහු තුළ ක්‍රියා කරන්නේ එනිසා යැ” යි පැවසී ය.</verse>
				<verse number="3">මන්ද හෙරෝද්, තම සහෝදරයා වූ පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් නිසා, යොහන් අල්ලා බැඳ, සිර කරනු ලැබ තිබිණ.</verse>
				<verse number="4">එසේ වූයේ, “ඇය තියා ගැනීම නිත්‍යානුකූල නැතැ” යි යොහන් ඔහුට කියා තිබූ බැවිණි.</verse>
				<verse number="5">ඔහු මරා දැමීමට වුවමනා වුව ද, ඔහු දිවැසිවරයෙකැයි ජනයා සැලකූ නිසා, හෙරෝද් ඔවුනට බය වූයේ ය.</verse>
				<verse number="6">එහෙත් හෙරෝද්ගේ උපන් දිනය පැමිණි කල, හෙරෝදියස්ගේ දියණිය, පිරිස ඉදිරියේ නැටුමක් නටා, හෙරෝද් ප්‍රීතියට පත් කළෙන්,</verse>
				<verse number="7">ඇය ඉල්ලන කවරක් වුව දෙන්නට හෙරෝද් ඇයට දිවුරුමකින් පොරොන්දු විය.</verse>
				<verse number="8">තම මව විසින් පොලඹවන ලද ඈ, “යොහන් බව්තීස්තගේ හිස තැටියක ලා, මට මෙහි ගෙනත් දෙන්නැ” යි කීවා ය.</verse>
				<verse number="9">රජු ඉන් දැඩි සිත් තැවුලට පත් වුව ද, තම දිවුරුම් නිසාත්, තමා සමඟ සිටි අමුත්තන් නිසාත් එය දීමට අණ කොට,</verse>
				<verse number="10">සිර ගෙදරට යවා, යොහන්ගේ හිස ගසවාලී ය.</verse>
				<verse number="11">ඔහුගේ හිස තැටියක තබා ගෙනැවිත්, දැරියට දෙන ලදී. ඈ එය තම මව වෙත ගෙන ගියා ය.</verse>
				<verse number="12">ඔහුගේ ගෝලයෝ පැමිණ, ඔහුගේ දේහය ගෙන ගොස්, එය වළලා, ඉන්පසු යේසුස්වහන්සේට එපවත් දැන්වූහ.</verse>
				<verse number="13">ඒ ඇසූ කල, යේසුස්වහන්සේ එම පෙදෙස හැර, ඔරුවක නැග, තනිව හුදෙකලා තැනකට ගිය සේක. එහෙත් ජනයා ඒ අසා, නගරවල සිට ගොඩබිමින් උන්වහන්සේ පසුපස ගියහ.</verse>
				<verse number="14">උන්වහන්සේ වෙරළට ගොඩ බැස්ස කල, විශාල ජනකායක් දුටු සේක්, ඔවුනට අනුකම්පා කර, ඔවුන්ගේ රෝගීන් සුව කළ සේක.</verse>
				<verse number="15">සවස් වූ කල, උන්වහන්සේ වෙත ආ ගෝලයෝ, “මේක පාළු පෙදෙසක්; දැනටත් හොඳටම පමා වෙලා. එනිසා අසල ගම්වලට ගොස්, ඔවුන්ට ආහාර මිලට ගන්නට හැකි වන පිණිස ජනයා පිටත් කර හරින්නැ” යි කීහ.</verse>
				<verse number="16">එහෙත් යේසුස්වහන්සේ, “ඔවුන් යන්න ඕනෑ නැහැ. ඔබම ඔවුන්ට කෑමට යමක් සපයා දෙන්නැ” යි පැවසූ සේක.</verse>
				<verse number="17">“අප ළඟ මෙහි ඇත්තේ රොටි පහකුත් මසුන් දෙදෙනකුත් පමණි” යි ඔවුහු පිළිතුරු දුන්හ.</verse>
				<verse number="18">“ඒවා මා ළඟට මෙහෙ ගෙනෙන්නැ” යි උන්වහන්සේ පැවසූ සේක.</verse>
				<verse number="19">ඉන්පසු තණ නිල්ල මත හිඳ ගන්නා ලෙස සමූහයාට නියෝග කළ උන්වහන්සේ, රොටි පහ සහ මසුන් දෙදෙනා ද ගෙන, ස්වර්ගය දෙස ඉහළ බලා, ආශිර්වාදය පවසා, ඉන්පසු රොටි කඩා, ගෝලයිනට දුන් සේක. ගෝලයෝ ඒවා සමූහයාට බෙදා දුන්හ.</verse>
				<verse number="20">සැවොම ඒවා කෑමෙන් තෘප්තියට පැමිණි පසු, ඔවුහු ඉතිරි වූ කැබලිවලින් කූඩ දොළහක් එකතු කර ගත්හ.</verse>
				<verse number="21">ස්ත්‍රීන් හා දරුවන් හැර රොටි කෑ අය ගණනින් පිරිමි පන්දහසක් පමණ වූහ.</verse>
				<verse number="22">එකෙණෙහිම, උන්වහන්සේ තමන් විසින් සමූහයා පිටත් කර හරින තෙක්, තම ගෝලයින් ඔරුවේ නංවා උන්වහන්සේට පෙරටුව එගොඩ යන්නට සැලසූ සේක.</verse>
				<verse number="23">සමූහයා පිටත යැවූ පසු උන්වහන්සේ යාච්ඤා කරන පිණිස, තනිව කන්දට නැගුණු සේක. සවස් වූ කල උන්වහන්සේ එහි සිටියේ තනිව ය.</verse>
				<verse number="24">මේ අතර ගොඩබිමට ඈතින් වූ ඔරුවට රළ රැළි පහර දෙන්නට වූයේ, සුළඟ ඔවුන්ට එරෙහිව හැමූ බැවිනි.</verse>
				<verse number="25">රාත්‍රි හතර වන යාමයේ උන්වහන්සේ ඔවුන් වෙත මුහුද මත ඇවිදගෙන ආ සේක.</verse>
				<verse number="26">එහෙත් උන්වහන්සේ මුහුද මත ඇවිදිනු දුටු ගෝලයෝ බියෙන් වෙළී, “අවතාරයක් ය” කියමින් බියෙන් කෑ ගැසූහ.</verse>
				<verse number="27">එහෙත් එකෙණෙහි ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “ධෛර්යවත් වන්න! මේ මමයි. බය වන්න එපා” යි කී සේක.</verse>
				<verse number="28">එවිට පේතෘස් පිළිතුරු දෙමින්, “ස්වාමිනි, ඒ ඔබ නම්, දිය මත ඇවිද ඔබ වෙත එන්නට මට අණ දෙන්නැ” යි කීවේ ය.</verse>
				<verse number="29">උන්වහන්සේ, “එන්නැ” යි කී සේක. එවිට පේතෘස් ඔරුවෙන් පිටතට අවුත්, යේසුස්වහන්සේ වෙත දිය මත ඇවිද ගියේ ය.</verse>
				<verse number="30">එහෙත් සුළඟ දැක, ඉන් බයපත් වූ ඔහු ගිලෙන්නට වී, “ස්වාමිනි, මා ගලවා ගත මැනව” යි මොර ගැසී ය.</verse>
				<verse number="31">එසැණෙහි තම අත දිගු කොට, ඔහු අල්ලාගත් යේසුස්වහන්සේ, “ඇදහිලි මද තැනැත්ත, නුඹ සැක කළේ මන්දැ?” යි ඇසූ සේක.</verse>
				<verse number="32">ඔවුන් ඔරුවට ගොඩ වූ කල, සුළඟ නැවතිණි.</verse>
				<verse number="33">ඔරුව තුළ සිටි අය, “සැබවින් ම ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ය” කියමින් උන්වහන්සේට නමස්කාර කළහ.</verse>
				<verse number="34">මෙතෙර වූ ඔවුහු, ගෙන්නසරෙත් බිමට ගොඩ බටහ.</verse>
				<verse number="35">එපෙදෙසේ මිනිස්සු යේසුස්වහන්සේ හැඳින ගත්හ. ඔවුහු පළාත මුළුල්ලේ පණිවුඩ යවා, රෝගී වූ සියල්ලන් උන්වහන්සේ වෙත ගෙන ඇවිත්,</verse>
				<verse number="36">උන්වහන්සේගේ සළුවේ වාටියට පමණක්වත් අත ගසන්නට ඔවුනට ඉඩ දෙන මෙන් අයැද සිටියහ. උන්වහන්සේට අත ගැසූ සැවොම සුවය ලදහ.</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">පරිසිවරු හා දහම් පඬිවරු යෙරුසලමේ සිට, යේසුස්වහන්සේ වෙත අවුත්, කතා කොට,</verse>
				<verse number="2">“ඔබගේ ගෝලයින් වැඩිහිටියන්ගේ සම්ප්‍රදායයන් කඩ කරන්නේ ඇයි? කෑමට පෙර ඔවුන් තම අත් සෝදන්නේ නැතැ” යි කීහ.</verse>
				<verse number="3">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබගේ සම්ප්‍රදායයන් රැක ගන්නට දෙවියන්වහන්සේගේ ආඥා ඔබ කඩ කරන්නේ ඇයි?</verse>
				<verse number="4">මන්ද, ‘ඔබේ පියාටත්, ඔබේ මවටත් ගෞරව කරන්න; තම පියාට හෝ මවට ශාප කරන්නා මරණයට පත් කළ යුතු යැ’ යි දෙවියන්වහන්සේ අණ කර ඇත.</verse>
				<verse number="5">එහෙත් ඔබ කියන්නේ, යමෙක් තම පියාට හෝ මවට හෝ කතා කොට, ‘ඔබගේ ප්‍රයෝජනයට මා ඔබට දිය යුතුව තිබූ දෑ, දෙවියන්වහන්සේට කැප කළා’ යි කිවහොත්,</verse>
				<verse number="6">ඔහුගේ පියාට හෝ මවට ගෞරව කළ යුතු නැත කියා ය. මෙසේ ඔබ, ඔබගේම සම්ප්‍රදායයන් උදෙසා දෙවියන්වහන්සේගේ ආඥා අවලංගු කරති.</verse>
				<verse number="7">වංචනිකයිනි! යෙසායා කියා ඇති මේ දිවැසි වැකිය ඔබ ගැන අගේට ගැළපේ.</verse>
				<verse number="8">“ ‘මේ ජනයා තම තොල්වලින් මට ගෞරව කරති; එහෙත් ඔවුන්ගේ හදවත්, මා වෙතින් බොහෝ ඈත ය.</verse>
				<verse number="9">මිනිසුන්ගේ ආඥා, ධර්මය ලෙස උගන්වමින්, ඔවුන් මට නමස්කාර කරන්නේ නිකරුණේ ය.’ ”</verse>
				<verse number="10">උන්වහන්සේ ජන සමූහයා තමන් වෙත කැඳවා, ඔවුන් අමතමින්, “සවන් දී, තේරුම් ගන්න.</verse>
				<verse number="11">මිනිසා අපවිත්‍ර වන්නේ, ඔහුගේ මුවින් ඇතුළු වන දෙයින් නො වේ. ඔහුගේ මුවින් පිටවන දෙයිනි. ඔහු අපවිත්‍ර කෙරෙන්නේ ඒවායිනි” යි කී සේක.</verse>
				<verse number="12">එවිට උන්වහන්සේ වෙත ආ ගෝලයෝ, “ඔබගේ ඒ කීම් ඇසූ පරිසීන් අමනාප වූ වග ඔබ දන්නවා දැ?” යි ඇසූහ.</verse>
				<verse number="13">උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ස්වර්ගීය මාගේ පියාණන්වහන්සේ රෝපණ නො කළ හැම පැළෑටියක්ම මුලිනුදුරා දමනු ලැබේ.</verse>
				<verse number="14">ඔවුන් ඔහේ හිටියා වේ; ඔවුහු මගපෙන්වන අන්ධයෝයි. අන්ධයකු තවත් අන්ධයකුට මගපෙන්වතොත්, දෙදෙනාම වළක වැටෙනවා ඇතැ” යි කී සේක.</verse>
				<verse number="15">එවිට පේතෘස්, “උපමාව අපට පහදා දෙන්නැ” යි උන්වහන්සේට කීවේ ය.</verse>
				<verse number="16">එවිට උන්වහන්සේ, “කිම ද, තවමත් ඔබට වැටහෙන්නේ නැති ද?</verse>
				<verse number="17">මුවට ඇතුළු වන කවර දෙයක් වුව උදරයට ගොස්, පසුව එය වැසිකිළියට බැහැරව යන බැව් ඔබට නො පෙනේ ද?</verse>
				<verse number="18">එහෙත් මුවින් පිටවන දෑ පැමිණෙන්නේ හදවතිනි. කෙනකු අපවිත්‍ර කෙරෙන්නේ ඒවායිනි.</verse>
				<verse number="19">මන්ද දුෂ්ට සිතිවිලි, මිනී මැරුම්, පරදාර සේවනය, ලිංගික අපචාර, සොරකම්, බොරු සාක්ෂි හා නින්දා අපහාස පැන නැගෙන්නේ හදවතිනි.</verse>
				<verse number="20">මිනිසා අපවිත්‍ර කෙරෙන්නේ එකී දෙයිනි; නො සේදු අත්වලින් ආහාර ගැනීමෙන් කෙනකු අපවිත්‍ර වන්නේ නැතැ” යි කී සේක.</verse>
				<verse number="21">යේසුස්වහන්සේ එතැනින් පිටත්ව, තීර් හා සීදොන් පෙදෙසට ගිය සේක.</verse>
				<verse number="22">එවිට මෙන්න! ඒ පළාතේ කානානීය ස්ත්‍රියක් හඬමින්, උන්වහන්සේ වෙත අවුත්, “අහෝ ස්වාමිනි, දාවිත්ගේ පුත්‍රයාණෙනි, මට අනුකම්පා කරන්න; මගේ දියණිය යක්ෂාත්මාවේශයෙන් දැඩිව පීඩා විඳිතැ” යි කීවා ය.</verse>
				<verse number="23">එහෙත් උන්වහන්සේ වචනයකින්වත් පිළිතුරු දුන්නේ නැත. එවිට උන්වහන්සේගේ ගෝලයෝ අවුත්, “මැය හඬා වැටෙමින්, අප පස්සේ එන නිසා, ඇය පිටත් කර හරින්නැ” යි උදක්ම ඉල්ලූහ.</verse>
				<verse number="24">උන්වහන්සේ උත්තර දෙමින්, “මා එවනු ලැබ ඇත්තේ ඉශ්‍රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණි” යි කී සේක.</verse>
				<verse number="25">එහෙත් පෙරට ආ ඈ උන්වහන්සේ අබියස දණින් වැටී, “ස්වාමිනි, පිහිට වුව මැනවි!” යි කීවා ය.</verse>
				<verse number="26">උන්වහන්සේ පිළිතුරු දෙමින්, “දරුවන්ගේ රොටි ගෙන, බල්ලන්ට දැමීම යුතු නැතැ” යි කී සේක.</verse>
				<verse number="27">එවිට ඈ, “එසේය ස්වාමිනි, බල්ලෝ වුවත් තම හාම්පුතුන්ගේ මේසයෙන් වැටෙන අහර කැබලි අවුලා කති” යි කීවා ය.</verse>
				<verse number="28">එකල ඇය ඇමතූ යේසුස්වහන්සේ, “ස්ත්‍රිය, ඔබගේ ඇදහිල්ල ඉමහත් ය. ඔබට ඕනෑ කළ ලෙස ඔබට සිදු වේවා!” යි පැවසූ සේක. ඇගේ දියණිය ඒ මොහොතේම සුවය ලද්දී ය.</verse>
				<verse number="29">යේසුස්වහන්සේ එතැනින් නික්ම ගලීල මුහුද පසෙකින් ගමන් ගත් සේක. පසුව උන්වහන්සේ කන්දට නැග, එහි වාඩිගත් සේක.</verse>
				<verse number="30">එකල කොරුන්, අන්ධයින්, අබ්බගාතයින්, ගොළුවන් හා වෙනත් බොහෝ රෝගීන් ද ගෙන උන්වහන්සේ වෙත ආ මහ සමූහයක්, ඒ රෝගීන් උන්වහන්සේගේ පාමුලට ගෙනාහ. උන්වහන්සේ ඔවුන් සුව කළ සේක.</verse>
				<verse number="31">ගොළුවන් කතා කරනු ද අබ්බගාතයින් සුව වී සිටිනු ද කොරු ඇවිදිනු ද අන්ධයනට පෙනීම ලැබෙනු ද දුටු ජනයා විස්මිතව, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ.</verse>
				<verse number="32">යේසුස්වහන්සේ තම ගෝලයින් තමන් වෙත කැඳවා, “මේ සමූහයා ගැන මම අනුකම්පා ඇත්තෙමි. දැන් දවස් තුනක් මා සමඟ සිටින ඔවුන්ට කෑමට කිසිවක් නැහැ. කුස ගින්නේම ඔවුන් පිටත් කර හරින්නට මා කැමති නැහැ. ගියහොත් ඔවුන් අතරමඟ දී ක්ලාන්ත වේවි” යි කී සේක.</verse>
				<verse number="33">ගෝලයෝ පිළිතුරු දෙමින්, “මෙතරම් සමූහයකට කන්නට දෙන්න තරම් රොටි මේ පාළු පෙදෙසින් අප කොහොම සොයන්න දැ?” යි ඇසූහ.</verse>
				<verse number="34">“ඔබ ළඟ කොපමණ රොටි තිබේ දැ?” යි යේසුස්වහන්සේ ඇසූ සේක. “හතකි” යි පැවසූ ඔවුහු, “මසුන් ස්වල්ප දෙනකුත් තියෙනවා” යි කීහ.</verse>
				<verse number="35">ජන සමූහයාට බිම ඉඳගන්නා ලෙස අණ කළ</verse>
				<verse number="36">උන්වහන්සේ, ඉන්පසු රොටි හත හා මත්ස්‍යයින් ගෙන, ස්තුති දී, ඒවා කඩා ගෝලයින් අතට දුන් සේක. ගෝලයෝ ඒවා සමූහයාට දුන්හ.</verse>
				<verse number="37">ඔවුහු සියල්ලෝ අනුභව කොට, සෑහීමට පැමිණියහ. ඉතිරි වූ කැබලිවලින් ඔවුහු ලොකු කූඩ හතක් පුරවා ගත්හ.</verse>
				<verse number="38">ස්ත්‍රීන් හා දරුවන් හැර, කෑ අය ගණනින් පිරිමින් පමණක් හාර දහසකි.</verse>
				<verse number="39">සමූහයා පිටත් කර යැවූ උන්වහන්සේ ඔරුවේ නැගී මගදන් පළාත වෙත ගිය සේක.</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">පරිසිවරු හා සද්දුසිවරු පැමිණ, උන්වහන්සේ පරීක්ෂා කරමින්, ස්වර්ගයෙන් ලකුණක් පෙන්වන ලෙස ඉල්ලූහ.</verse>
				<verse number="2">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “සවස් කාලයේ අහස රත් පැහැ වූ කල, ‘අද කාලගුණය හොඳ වෙතැ’ යි කියන ඔබ,</verse>
				<verse number="3">උදයට අහස රත් පැහැ ගෙන, අඳුරු වූ කල, ‘අද සුළං-කුණාටු දවසක් වෙතැ’ යි කියති. අහසේ පෙනුම ගැන අරුත් දක්වන්නට දන්නා ඔබට කාලයේ ලකුණු ගැන අරුත් දක්වන්නට නො හැකියි.</verse>
				<verse number="4">දුෂ්ටවූත්, පරදාරිකවූත් පරම්පරාවක් ලකුණක් ඉල්ලයි. එහෙත් යෝනාගේ ලකුණ මිස, අන් ලකුණක් ඔවුන්ට දෙනු නො ලැබේ” යි කී සේක. ඉන්පසු උන්වහන්සේ ඔවුන් හැර ඉවත්ව ගිය සේක.</verse>
				<verse number="5">එගොඩට ළඟා වූ කල, රොටි ගෙන යන්නට ගෝලයින්ට අමතක වී තිබිණි.</verse>
				<verse number="6">යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “බලාගෙනයි! පරිසීන්ගේ හා සද්දුසීන්ගේ මුහුන්වලින් පරෙස්සම් වන්නැ” යි කී සේක.</verse>
				<verse number="7">ඔවුහු තම තමන් අතරේ කතිකා කරමින්, “රොටි ගෙනෙන්නට අපට අමතක වූ නිසා යැ” යි කීහ.</verse>
				<verse number="8">යේසුස්වහන්සේ ඔවුන්ගේ කතා බහ දැන, “අහෝ ඇදහිලි මද තැනැත්තෙනි, රොටි නො ගෙන ඒම ගැන ඔබ අතරේ කතා කරන්නේ මන්ද?</verse>
				<verse number="9">තවමත් ඔබට වැටහෙන්නේ නැති ද? පන්දහසකට දුන් රොටි පහ ගැනත් පසුව කූඩ කීයක් පුරවා ගත්තා ද කියාත් ඔබට අමතක ද?</verse>
				<verse number="10">හාර දහසකට රොටි හතකින් දී ලොකු කූඩ කීයක් පුරවා ගත්තා ද?</verse>
				<verse number="11">මා කතා කළේ රොටි ගැන නො වන බැව් ඔබට නො වැටහුනේ කෙසේ ද? එහෙත් පරිසීන්ගේ හා සද්දුසීන්ගේ මුහුන්වලින් පරෙස්සම් වන්නැ” යි කී සේක.</verse>
				<verse number="12">උන්වහන්සේ තමනට පැවසුවේ රොටීවලට යොදන මුහුන්වලින් නො ව, පරිසිවරුන්ගේ හා සද්දුසිවරුන්ගේ ඉගැන්වීම්වලින් පරෙස්සම් වීමට බැව් එවිට ඔවුහු වටහා ගත්හ.</verse>
				<verse number="13">යේසුස්වහන්සේ පිලිප්පි කායිසාරි පෙදෙසට පැමිණි කල, “ජනයා කියන්නේ මනුෂ්‍ය පුත්‍රයාණන් කවුරු ය කියා දැ?” යි තම ගෝලයන්ගෙන් ඇසූ සේක.</verse>
				<verse number="14">ඔවුහු පිළිතුරු දෙමින්, “සමහරුන් කියන්නේ, යොහන් බව්තීස්ත ය කියා ය; අන් සමහරු කියන්නේ එලියා ය කියා ය; සෙසු අය යෙරමියා හෝ වෙනත් දිවැසිවරයෙක් ය කියා යැ” යි කීහ.</verse>
				<verse number="15">“එහෙත්, ඔබ කියන්නේ මා කවරෙක් ය කියා දැ?” යි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක.</verse>
				<verse number="16">සීමොන් පේතෘස් පිළිතුරු දෙමින්, “ඔබවහන්සේ ක්‍රිස්තුස්වහන්සේ ය; ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ යැ” යි කීවේ ය.</verse>
				<verse number="17">යේසුස්වහන්සේ ඔහුට උත්තර දෙමින්, “සීමොන්, යෝනාගේ පුත්‍රය, ඔබ භාග්‍යවත් ය. මන්ද ඔබට මෙය හෙළි කළේ මාංසය හා රුධිරය නො වේ; ස්වර්ගයේ වෙසෙන මාගේ පියාණන්වහන්සේ ය.</verse>
				<verse number="18">මා ඔබට කියන්නේ, ඔබ පේතෘස් ය; මේ පර්වතය පිට මම මගේ සභාව ගොඩ නගන්නෙමි. පාතාලයේ දොරටු, ඊට එරෙහිව ජය ගන්නේ නැත.</verse>
				<verse number="19">ස්වර්ග රාජ්‍යයේ යතුරු මම ඔබට දෙන්නෙමි; පොළොවේදී ඔබ යමක් බඳින්නේ ද, ස්වර්ගයේදී එය බඳිනු ලැබේ; පොළොවේදී ඔබ යමක් මුදන්නේ ද, ස්වර්ගයේදී එය මුදනු ලැබේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="20">ඉන්පසු තමා ක්‍රිස්තුස්වහන්සේ බැව් කිසිවකුට නො කියන ලෙස, තම ගෝලයනට උන්වහන්සේ නියෝග කළ සේක.</verse>
				<verse number="21">එතැන් පටන් යේසුස්වහන්සේ තමා යෙරුසලමට යා යුතු වුව ද, වැඩිහිටියන්, නායක පූජකයින් හා දහම් පඬිවරුන් අතින් තමන් බොහෝ පීඩා විඳින වග ද ඉන්පසු මරා දමනු ලබන වග ද තුන් වන දවසේ නැවත නැගිටුවනු ලබන වග ද තම ගෝලයින්ට පවසන්නට වූ සේක.</verse>
				<verse number="22">එවිට පේතෘස් උන්වහන්සේ පසෙකට කැඳවා, උන්වහන්සේට තරවටු කරන්නට වී, “කොහෙත්ම නැහැ ස්වාමිනි, ඔබට කිසිදාක එහෙම වන්නේ නැතැ” යි කීවේ ය.</verse>
				<verse number="23">එහෙත් උන්වහන්සේ හැරී, පේතෘස් අමතමින්, “සාතන් මා පස්සට යව; නුඹ මට බාධකයක්; මන්ද නුඹ නුඹේ මනස යොමු කර ඇත්තේ දෙවියන්වහන්සේගේ කාරණා ගැන නො වේ; මිනිසුන්ගේ කාරණා ගැන යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="24">ඉන්පසු යේසුස්වහන්සේ තම ගෝලයින් අමතමින්, “යම් කෙනෙක් මා අනුව එන්නට කැමති නම්, ඔහු තමාම ප්‍රතික්ෂේප කර, තම කුරුසිය ගෙන මා අනුව එත්වා;</verse>
				<verse number="25">මන්ද තම ජීවිතය රැක ගන්නට සොයන්නා, එය අහිමි කරගනී; එහෙත් මා නිසා තම ජීවිතය අහිමි කරගන්නා එය අත්කර ගනී.</verse>
				<verse number="26">යමෙක් මුළු ලොවම දිනාගත් නමුදු තම ජීවිතය නැති කරගනී නම්, ඉන් ඔහුට ඇති පලය කුමක් ද? නොහොත් තම ජීවිතය වෙනුවට කෙනකුට හුවමාරු කර ගත හැක්කේ කුමක් ද?</verse>
				<verse number="27">මන්ද මනුෂ්‍ය පුත්‍රයාණන් ස්වකීය දූතයින් සමඟ තම පියාණන්වහන්සේගේ තේජසින් පැමිණ, එක් එක් කෙනාට ඒ ඒ අය කළ කළ දේ අනුව පල විපාක දෙන සේක.</verse>
				<verse number="28">“සැබවින් ම මා ඔබට කියන්නේ, මනුෂ්‍ය පුත්‍රයාණන් ස්වකීය රාජ්‍යයෙන් යුක්තව පැමිණෙනු දකින තෙක්, මෙහි සිටින්නන්ගෙන් ඇතමෙක් මරණය නො විඳින්නේ යැ” යි පැවසූ සේක.</verse>
			</chapter>
			<chapter number="17">
				<verse number="1">දින හයකට පසු යේසුස්වහන්සේ, පේතෘස් ද යාකොබ් හා ඔහුගේ සහෝදර යොහන් ද තමන් හා කැටුව උස් කන්දකට ඔවුන් ගෙන ගිය සේක.</verse>
				<verse number="2">උන්වහන්සේ එහිදී ඔවුන් ඉදිරියේ අන් ස්වරූපයක් වූ සේක. උන්වහන්සේගේ මුහුණ හිරු මෙන් බැබළිණි; උන්වහන්සේගේ වස්ත්‍ර ආලෝකය සේ සුදු විණි.</verse>
				<verse number="3">එවිට මෙන්න! මෝසෙස් හා එලියා උන්වහන්සේ සමඟ කතා කරමින් සිටිනු ඔවුනට පෙනිණි.</verse>
				<verse number="4">එවිට පේතෘස් යේසුස්වහන්සේ අමතා, “ස්වාමිනි, මෙහි සිටීම අපට හොඳයි; ඔබ කැමති නම්, මම කූඩාරම් තුනක් සාදන්නම්; ඔබට එකක්, මෝස‍ෙස්ට එකක්, එලියාට එකක්” යැයි පැවසී ය.</verse>
				<verse number="5">ඔහු කතා කරද්දීම, මෙන්න, දීප්තිමත් වලාකුළක් ඔවුන් වසාගෙන; ඒ වලාවෙන් කටහඬක් නික්මී, “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයා ය; මොහු කෙරේ මම බොහෝ ප්‍රසන්නව සිටිමි. එතුමාණන්ට සවන් දෙනු” යි කියැවිණි.</verse>
				<verse number="6">එය ඇසූ කල ගෝලයෝ භීතියෙන් වෙළී, වැටී, මුහුණ බිම ඔබා ගත්හ.</verse>
				<verse number="7">එහෙත් යේසුස්වහන්සේ ඔවුන් වෙත අවුත් ඔවුනට අත ගසා, “නැගිටින්න, බිය නො වන්නැ” යි කී සේක.</verse>
				<verse number="8">ඔවුහු නෙත් දල්වා බැලූ කල, යේසුස්වහන්සේ හැර අන් කිසිවකු එහි නො දුටුවහ.</verse>
				<verse number="9">ඔවුන් කන්දෙන් බැස එද්දී, යේසුස්වහන්සේ ඔවුන්ට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රයාණන් මළවුන්ගෙන් නැගිටින තෙක් ඔවුන් දුටු දෑ කිසිවකුටත් නො කියන්නැ” යි අණ කළ සේක.</verse>
				<verse number="10">එවිට ගෝලයෝ ප්‍රශ්න කරමින්, “එසේ නම්, පළමු කොට එලියා පැමිණිය යුතු යැයි දහම් පඬිවරුන් කියන්නේ මන්දැ?” යි ඇසූහ.</verse>
				<verse number="11">උන්වහන්සේ පිළිතුරු දෙමින්, “සැබවින් ම එලියා එන්නේ ය; හැම දේම ඔහු නැවත පිහිටවනු ඇත.</verse>
				<verse number="12">එහෙත් මා ඔබට කියන්නේ, එලියා දැනටමත් පැමිණ ඇති බවයි. ඔවුහු ඔහු හැඳින ගැනීමට අපොහොසත් ව, තමන්ට රිසි හැම දෙයක්ම ඔහුට කළහ. මනුෂ්‍ය පුත්‍රයා ද එලෙසම ඔවුන් අතින් වධ විඳිනු ඇතැ” යි කී සේක.</verse>
				<verse number="13">උන්වහන්සේ එසේ පැවසුවේ, යොහන් බව්තීස්ත ගැන බැව් උන්වහන්සේගේ ගෝලයෝ එවිට වටහා ගත්හ.</verse>
				<verse number="14">ඔවුන් යළි ජන සමූහයා වෙත පැමිණි කල, එක් මිනිසෙක් උන්වහන්සේ වෙත අවුත්, උන්වහන්සේ අබියස දණින් වැටී,</verse>
				<verse number="15">“ස්වාමිනි, මාගේ පුත්‍රයාට දයාව පෑ මැනව. ඔහු අපස්මාරයෙන් පෙළෙමින් දැඩි සේ පීඩා විඳියි. ඔහු නිතර ගින්නේ ද වතුරේ ද වැටෙයි.</verse>
				<verse number="16">ඔබගේ ගෝලයන් වෙත ඔහු ගෙනාවෙමි. එහෙත් ඔහු සුව කරන්නට ඔවුනට නො හැකි විණැ” යි පැවසී ය.</verse>
				<verse number="17">යේසුස්වහන්සේ පිළිතුරු දෙන සේක්, “අහෝ! ඇදහිලි හීන හිතුවක්කාර පරම්පරාව, තව කොතෙක් කලක් මා ඔබ සමඟ සිටින්න ද? තව කොතෙක් කලක් ඔබ ගැන ඉවසා සිටින්න ද? ඔහු මා ළඟට මෙහි ගෙනෙන්නැ” යි කී සේක.</verse>
				<verse number="18">යේසුස්වහන්සේ ඔහුට තරවටු කළෙන්, යක්ෂාත්මය ඔහුගෙන් පිටතට ආයේ ය. එකෙණෙහිම දරුවා සුව කරනු ලැබිණ.</verse>
				<verse number="19">පසුව ගෝලයෝ, පෞද්ගලිකව යේසුස්වහන්සේ වෙත අවුත්, “අපට ඌ දුරු කළ නො හැකි වූයේ ඇයි දැ?” යි ඇසූහ.</verse>
				<verse number="20">උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඒ ඔබේ ඇදහිල්ල මද නිසයි. සැබවින් ම මා ඔබට කියන්නේ, අබ ඇටයක් තරම්වත් ඇදහිල්ලක් ඔබට ඇත්නම්, මේ කන්දට කතා කොට, ‘මෙතැනින් ඉවත්ව අතැනට යනු’ යි ඊට ඔබට කියත හැකියි. එවිට එය සිදුවන්නේ ය; ඔබට කළ නො හැකි කිසිවක් නැත.</verse>
				<verse number="21">මේ වර්ගය යාච්ඤාවෙන් සහ නිරහාරයෙන් මිස, අන් හැටියකින් දුරු කළ හැකි නො වේ” යි පැවසූ සේක.</verse>
				<verse number="22">ඔවුහු ගලීලයේදී යළි රැස් වූ කල, යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “මනුෂ්‍ය පුත්‍රයා මිනිසුන්ගේ අත්වලට පාවා දෙනු ලබනු ඇත.</verse>
				<verse number="23">ඔවුහු උන්වහන්සේ මරා දමති. මරණින් තුන් දිනකට පසු, උන්වහන්සේ නැගිටිනු ඇතැ” යි පැවසූ සේක. ඔවුහු අතිශයින් සොවින් බරවූහ.</verse>
				<verse number="24">ඔවුන් කපර්ණවුමට පැමිණි කල, ෂෙකල භාගයේ බදු අය කරන්නෝ පේතෘස් වෙත ගොස්, “ඔබේ ගුරුතුමා දේවමාලිගා බද්ද ගෙවන්නේ නැද්දැ?” යි ඇසූහ.</verse>
				<verse number="25">“ගෙවනවා” යි කී ඔහු ගෙට පැමිණි විට, යේසුස්වහන්සේ පළමුව ඔහු අමතමින්, “සීමොන්, ඔබ සිතන්නේ කුමක් ද? මිහි පිට රජුන් බදු, වරිපණම් අයකරන්නේ තමන්ගේම පුතුන්ගෙන් ද? නැතිනම් අන්‍යයන්ගෙන් දැ?” යි ඇසූ සේක.</verse>
				<verse number="26">“අන්‍යයන්ගෙනි” යි ඔහු කී කල, යේසුස්වහන්සේ, “එසේ නම්, පුත්‍රයින් ඉන් නිදහස්;</verse>
				<verse number="27">එසේ වුවත් අප ඔවුන්ට බාධා කළ යුතු නැහැ. එනිසා මුහුදට ගොස්, බිලි බා, මුලින්ම හසුවන මාළුවා ගන්න; උගේ මුව ඇරිය විට ෂෙකලයක් හමු වෙයි. එයින් ඔබගෙත්, මගෙත් බද්ද ගෙවන්නැ” යි කී සේක.</verse>
			</chapter>
			<chapter number="18">
				<verse number="1">එකල යේසුස්වහන්සේ වෙත ආ ගෝලයෝ, “ස්වර්ග රාජ්‍යයේදී වඩාත් උත්තමයා කවුරු දැ?” යි ඇසූහ.</verse>
				<verse number="2">කුඩා දරුවකු කැඳවාගත් උන්වහන්සේ, ඔවුන් අතර ඔහු සිටුවා:</verse>
				<verse number="3">“සැබවින් ම මා ඔබට කියන්නේ, ඔබ හැරී, කුඩා දරුවන් මෙන් නො වුවහොත්, ස්වර්ග රාජ්‍යයට ඇතුළු වීමට කිසි සේත් ඔබට නො හැකි බවයි.</verse>
				<verse number="4">මේ දරුවා මෙන් තමන්ම යටහත් කවරකු වුව ස්වර්ග රාජ්‍යයේදී වඩාත්ම උත්තමයා වෙයි.</verse>
				<verse number="5">මාගේ නාමයෙන් මෙවැනි දරුවකු පිළිගන්නා කවරකු වුව, මා පිළිගනියි.</verse>
				<verse number="6">“එහෙත් මා තුළ විශ්වාස කරන මේ කුඩාවුන්ගෙන් එකකු හෝ පාපයට පොලඹවන කවරකු වුව, ඔහුගේ ගෙල වටා ලොකු ඇඹරුම් ගලක් එල්ලා, ගැඹුරු මුහුදේ ගිල්වීම ඔහුට වඩා හොඳ ය.</verse>
				<verse number="7">පවට පොලඹවන පරීක්ෂා නිසා ලොවට දුක් පැමිණේ; මන්ද එම පරීක්ෂා පැමිණිය යුතුව ඇත. එහෙත් යමකු මඟින් ඒවා පැමිණේ ද, ඒ අයට දුක් වේ!</verse>
				<verse number="8">ඔබේ අත හෝ ඔබේ පය ඔබ පාපයට පොලඹවයි නම්, එය කපා ඉවත වීසි කරන්න. අබ්බගාතව හෝ කොරව හෝ ජීවනයට ඇතුළු වීම, දෑත් හෝ දෙපා ඇතිව සදාතන ගින්නට හෙළනු ලබනවාට වඩා හොඳ ය.</verse>
				<verse number="9">ඔබගේ ඇස පාපයට ඔබ පොලඹවයි නම්, එය උගුලා ඉවත වීසි කරන්න. එක් ඇසක් ඇතිව ජීවනයට ඇතුල් වීම, දෑසම ඇතිව නිරා ගින්නට හෙළනු ලබනවාට වඩා හොඳ ය.</verse>
				<verse number="10">“මේ කුඩාවුන්ගෙන් එකකු හෝ සුළු කොට නො තකන්ට වගබලා ගන්න. මා එසේ කියන්නේ, ඔවුන්ගේ දේව දූතයින් ස්වර්ගයේ වෙසෙන මාගේ පියාණන්වහන්සේගේ මුහුණ නිරතුරු දකින හෙයිනි.</verse>
				<verse number="11">මන්ද මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ, නැති වූ දේ සොයන්නටත්, ගලවන්නටත් ය.</verse>
				<verse number="12">“ඔබ සිතන්නේ කුමක් ද? බැටළුවන් සියයක් ඇති මිනිසකුගේ එක් බැටළුවකු මං මුළාව ගියහොත්, ඔහු අර අනූනව දෙනා කන්දේ පිටියේ හැර, ඒ මංමුළා වූ එකා සොයා යන්නේ නැති ද?</verse>
				<verse number="13">ඔහුට ඌ හමු වුණොත්, සැබවින් ම මා ඔබට කියන්නේ, මංමුළා නො වූ අර අනූනව දෙනාටම වඩා මේ එක බැටළුවා ගැන ඔහු සතුටු වන බවයි.</verse>
				<verse number="14">එසේම මේ කුඩාවුන්ගෙන් එකකු හෝ විනාශ වීම ස්වර්ගයේ වෙසෙන මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත නො වේ.</verse>
				<verse number="15">“ඔබේ සහෝදරයා ඔබට එරෙහිව පව් කරයි නම්, ගොස්, ඔහු හා ඔබ තනිව සිට, ඔහුගේ වරද පෙන්වා දෙන්න. ඔහු ඔබට සවන් දුනහොත්, ඔබ ඔබේ සහෝදරයා දිනා ගත්තා වෙයි.</verse>
				<verse number="16">එහෙත් ඔහු ඔබට සවන් නො දේ නම්, ‘හැම කාරණයක්ම සාක්ෂිකරුවන් දෙදෙනකු හෝ තිදෙනකුගේ සාක්ෂිය මත ස්ථිර වන පිණිස,’ තව කෙනකු හෝ දෙදෙනකු කැඳවාගෙන යන්න.</verse>
				<verse number="17">ඔහු ඔවුන්ට සවන් දීම ප්‍රතික්ෂේප කළොත්, එය සභාවට දන්වන්න. ඔහු සභාවට පවා සවන් දීම ප්‍රතික්ෂේප කළොත්, ඔහු විජාතිකයකු හෝ අයබදුකාරයකු සේ ගණන් ගන්න.</verse>
				<verse number="18">“සැබවින් ම මම ඔබට කියන්නම්; පොළොවේදී ඔබ යමක් බඳින්නේ ද, ස්වර්ගයේදී එය බඳිනු ලැබේ; පොළොවේදී ඔබ යමක් මුදන්නේ ද, ස්වර්ගයේදී එය මුදනු ලැබේ.</verse>
				<verse number="19">“යළිත් මා ඔබට කියන්නේ, පොළොවේදී ඔබ දෙදෙනකු තමන් ඉල්ලන යම් දෙයක් ගැන එක්සිත් වන්නේ නම්, ස්වර්ගයේ වෙසෙන මාගේ පියාණන්වහන්සේ ඔබට එය ඉටුකර දෙන බවයි.</verse>
				<verse number="20">මන්ද දෙදෙනකු හෝ තිදෙනකු හෝ මාගේ නාමයෙන් එක්රැස් වන්නේ නම්, මමත් එතැන ඔවුන් සමඟ සිටිමි” යි පැවසූ සේක.</verse>
				<verse number="21">එවිට පේතෘස් අවුත්, උන්වහන්සේ අමතමින්, “ස්වාමිනි, මගේ සහෝදරයා මට එරෙහිව පව් කරන කල, මා කී වරක් ඔහුට කමා විය යුතු ද? හත් වරක් දක්වා දැ?” යි ඇසී ය.</verse>
				<verse number="22">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “හත් වරකැයි මා ඔබට කියන්නේ නැත, එහෙත් හැත්තෑ වර හතකි.</verse>
				<verse number="23">“එබැවින් ස්වර්ග රාජ්‍යය, තම දාසයින් සමඟ ගණන් බේරීමට කැමති වූ රජකුට සමාන කළ හැකි ය.</verse>
				<verse number="24">ඔහු බේරුම් කිරීම ඇරඹූ කල, තලෙන්ත දස දහසක් ඔහුට ණය වූ දාසයෙක් ඔහු ඉදිරියට පමුණුවන ලදී.</verse>
				<verse number="25">ණය ගෙවීමට ඔහුට නුපුළුවන් වූ බැවින් එම ණය ගෙවනු පිණිස ඔහුත්, ඔහුගේ භාර්යාව හා දරුවනුත්, ඔහුට අයත්ව තිබූ සියල්ලත් විකුණා, ණය බේරන ලෙස ඔහුගේ හාම්පුතා නියෝග කළේ ය.</verse>
				<verse number="26">“එවිට එම දාසයා, ඔහු අබියස දණින් වැටී, ‘අනේ මා ගැන ඉවසන්න; මා සියල්ල ආපසු ගෙවනවා’ යි කන්නලව් කළේ ය.</verse>
				<verse number="27">එවිට ඔහු ගැන අනුකම්පා කළ ඒ දාසයාගේ හාම්පුතා, ඔහු නිදහස් කරමින්, ඔහුගේ ණය කමා කළේ ය.</verse>
				<verse number="28">“එහෙත් ඒ දාසයා පිටත්ව යද්දී, ඩිනාරි සියයක සුළු මුදලක් ඔහුට ණයව සිටි සහෝදර දාසයකු හමු වී, ඔහු අල්ලා, ‘මගේ ණය ආපසු ගෙවනු’ කියමින් ඔහුගේ ගෙල මිරිකන්නට වන්නේ ය.</verse>
				<verse number="29">“එවිට සහෝදර දාසයා දණින් වැටී, ‘අනේ මා ගැන ඉවසන්න; මා සියල්ල ආපසු ගෙවනවා’ යි කන්නලව් කළේ ය.</verse>
				<verse number="30">“එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කර, ණය ගෙවන තෙක් ඔහු සිරගත කරවී ය.</verse>
				<verse number="31">සිදු වූ දේ දුටු අනෙක් දාසයෝ ඉන් දැඩි කම්පාවට පත්ව, ගොස්, සිදු වූ හැම දෙයක්ම ඔවුන්ගේ හාම්පුතාට පැවසූහ.</verse>
				<verse number="32">“එවිට ඔහු කැඳවූ හාම්පුතා, ‘එම්බා දුෂ්ට දාසය, නුඹ මට කන්නලව් කළ නිසා, නුඹේ සියලු ණය කමා කළෙමි.</verse>
				<verse number="33">මා නුඹට දයාව පෑ සේ, නුඹත් නුඹේ සහෝදර දාසයාට දයා කළ යුතුව තිබුණා නො වේ දැ?’ යි පැවසී ය.</verse>
				<verse number="34">ඔහුගේ හාම්පුතා කෝප වී, තමාගේ සියලු ණය ගෙවන තෙක් ඔහු වධකයින්ට බාර දුන්නේ ය.</verse>
				<verse number="35">“ඔබේ හදවතින් ඔබේ සහෝදරයාට ඔබ කමා නො කරන්නේ නම්, ඔබ හැම කෙනකුට මාගේ පියාණන්වහන්සේත් එසේම කරන සේකැ” යි පැවසූ සේක.</verse>
			</chapter>
			<chapter number="19">
				<verse number="1">මේ දෑ කියා නිම වූ පසු යේසුස්වහන්සේ ගලීලයෙන් නික්ම, යොර්දානයෙන් එතෙර යුදය පළාතට පැමිණි සේක.</verse>
				<verse number="2">මහ ජනකායක් උන්වහන්සේ පස්සේ ගියහ. උන්වහන්සේ එහිදී ඔවුන් සුව කළ සේක.</verse>
				<verse number="3">පරිසිවරු පැමිණ, උන්වහන්සේ පරීක්ෂා කරමින්, “කවර හේතුවක් නිසාවත්, මිනිසකු සිය භාර්යාව දික්කසාද කිරීම නිත්‍යානුකූල දැ?” යි ඇසූහ.</verse>
				<verse number="4">උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔවුන් මැවූ තැනැන්වහන්සේ, පටන්ගැන්මේදී පිරිමියා හා ගැහැනිය වශයෙන් ඔවුන් සෑදූ වග ඔබ කියවා නැද්ද?</verse>
				<verse number="5">උන්වහන්සේ කීවේ, ‘එබැවින් මිනිසෙක් තම පියා හා මව අතහැර තම භාර්යාවට තදින් බැඳෙයි’ කියායි. මෙසේ ඔවුන් එක මාංසයක් බවට පත් වන</verse>
				<verse number="6">බැවින්, තවදුරටත් ඔවුහු දෙදෙනකු නො ව එක මාංසයක් වෙති. එබැවින් දෙවියන්වහන්සේ එකට එක් කළ දේ, මිනිසා විසින් වෙන් කරනු නො ලබත්වා!” යි පැවසූ සේක.</verse>
				<verse number="7">“එසේ නම්, තම භාර්යාවට දික්කසාද සහතිකයක් ලියා දී, ඇය ඉවත යැවීමට මෝසෙස් නියෝග කළේ මන්දැ?” යි ඔවුහු ඇසූහ.</verse>
				<verse number="8">යේසුස්වහන්සේ පිළිතුරු දෙන සේක්, “ඔබගේ භාර්යාවන් දික්කසාද කිරීමට මෝසෙස් ඔබට අවසර දුන්නේ, ඔබගේ හදවත්වල දැඩිකම නිසයි. එහෙත් පටන්ගැන්මේ සිට වූයේ එලෙස නො වේ.</verse>
				<verse number="9">මා ඔබට කියන්නේ ලිංගික අනාචාරයකදී හැර, තම භාර්යාව අත්හැර, අන් ස්ත්‍රියක ආවාහ කරගන්නා කවරකු වුව, පරදාර සේවනයේ යෙදෙන්නේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="10">එවිට උන්වහන්සේගේ ගෝලයෝ, “ස්වාමි පුරුෂයකු හා භාර්යාවක අතර තතු එසේ නම්, විවාහ නො වීම වඩා හොඳ යැ” යි උන්වහන්සේට කීහ.</verse>
				<verse number="11">උන්වහන්සේ පිළිතුරු දෙමින්, “එය දෙන ලද අයට හැර, හැම කෙනකුටම එය පිළිගත හැකි කීමක් නො වේ.</verse>
				<verse number="12">මන්ද උපතින්ම නපුංසක වූවෝ වෙති. මිනිසුන් විසින් නපුංසක කරන ලද අය ද ස්වර්ග රාජ්‍යය උදෙසා තමන්ම නපුංසකව සිටින අය ද වෙති. මෙය පිළිගත හැකි අය එලෙස පිළිගනිත්වා!” යි පැවසූ සේක.</verse>
				<verse number="13">එකල, ජනයා දරුවන් කැඳවාගෙන ආවේ, උන්වහන්සේ ඔවුන් පිට අත් තබා යාච්ඤා කරන පිණිස ය. එහෙත් ගෝලයෝ ජනයාට තරවටු කළහ.</verse>
				<verse number="14">එහෙත්, “දරුවන්ට මා වෙත එන්නට ඉඩ හරින්න; ඔවුන් වළක්වන්න එපා; මන්ද ස්වර්ග රාජ්‍යය අයිති මෙබඳු වූවන්ට යැ” යි පැවසූ යේසුස්වහන්සේ</verse>
				<verse number="15">ඔවුන් පිට අත් තැබූ සේක්, එතැනින් නික්ම ගිය සේක.</verse>
				<verse number="16">එවිට මෙන්න! යේසුස්වහන්සේ වෙත පැමිණි එක් මිනිසෙක්, “ගුරුතුමනි, සදාතන ජීවනය ලබාගනු පිණිස මා කවර යහපතක් කළ යුතු දැ?” යි ඇසී ය.</verse>
				<verse number="17">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “යහපත කවරේදැයි මගෙන් අහන්නේ ඇයි? යහපත්ව සිටින්නේ එක් තැනැත්තාණන් කෙනකු පමණි. ජීවනයට ඇතුළු වීමට වුවමනා නම්, ආඥා පිළිපදින්නැ” යි කී සේක.</verse>
				<verse number="18">“කවර ඒවා දැ?” යි ඔහු ඇසී ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ ‘මිනී නො මරනු, පරදාර සේවනය නො කරනු, සොරකම් නො කරනු, බොරු සාක්ෂි නො දෙනු,</verse>
				<verse number="19">ඔබේ පියාට හා මවට ගරු කරනු, ඔබට මෙන් ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න’ යන වශයෙනි” යි පැවසූ සේක.</verse>
				<verse number="20">“ඒ සියල්ල මම පිළිපැද ඇත්තෙමි” යි පැවසූ තරුණයා, “මට තව අඩු කුමක් දැ?” යි ඇසී ය.</verse>
				<verse number="21">යේසුස්වහන්සේ ඔහු අමතමින්, “සම්පූර්ණ වීමට ඔබට ඕනෑ නම්, ගොස්, ඔබ සතු දෑ විකුණා දිළිඳුන්ට දෙන්න. ඔබට ස්වර්ගීක ධනය අත්වනු ඇත. ඉන්පසු අවුත්, මා අනුගමන කරන්නැ” යි පැවසූ සේක.</verse>
				<verse number="22">ඒ ඇසූ තරුණයා සොවට පත්ව, ඉවත්ව ගියේ ය. මන්ද ඔහු මහ ධනයක් හිමිව සිටියේ ය.</verse>
				<verse number="23">එවිට යේසුස්වහන්සේ තම ගෝලයින් අමතමින්, “සැබවින් ම මා ඔබට කියන්නේ, ධනවතකුට ස්වර්ග රාජ්‍යයට ඇතුළු විය හැක්කේ, මහත් අසීරුවෙන් පමණක් බවයි.</verse>
				<verse number="24">නැවතත් මා ඔබට කියන්නේ, ධනවතකුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා, ඔටුවකුට ඉඳිකටු සිදුරින් රිංගා යෑම පහසු යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="25">මේ ඇසූ ගෝලයෝ අතිශයින් විස්මිතව, “එසේ නම් ගැලවෙන්නට හැක්කේ කවරකුට දැ?” යි ඇසූහ.</verse>
				<verse number="26">එවිට ඔවුන් දෙස බැලූ යේසුස්වහන්සේ, “මිනිසුන්ට මෙය කොහෙත්ම කළ නො හැකි ය. එහෙත් දෙවියන්වහන්සේට සියල්ල පුළුවනැ” යි පැවසූ සේක.</verse>
				<verse number="27">එවිට පේතෘස් පිළිතුරු දෙමින්, “බලන්න, අප හැම දෙයක්ම අත්හැර, ඔබ අනුගමන කළා; එහෙයින් මොනවද අපට ලැබෙන්නේ?” යි ඇසී ය.</verse>
				<verse number="28">යේසුස්වහන්සේ ඔවුන්ට කියන සේක්, “සැබවින් ම මා ඔබට කියන්නේ, සියල්ල අලුත් කිරීමේදී, මනුෂ්‍ය පුත්‍රයාණන් ස්වකීය තේජසේ සිංහාසනයේ හිඳ ගන්නා කල, මා අනුව ආ ඔබත් ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ දොළොස විනිශ්චය කරමින්, සිංහාසන දොළහක් මත හිඳ ගන්නා බවයි.</verse>
				<verse number="29">තවද ගේ-දොර, සහෝදර-සහෝදරියන්, මව හෝ පියා හෝ දරුවන් හෝ ඉඩ කඩම් හෝ මගේ නාමය උදෙසා අත්හළ හැම කෙනකුටම ඒ හා සිය ගුණයක් ලැබෙනු ඇත. සදාතන ජීවනය ද උරුම වනු ඇත.</verse>
				<verse number="30">එහෙත් ප්‍රථමයින් වන බොහෝ දෙනෙක් අන්තිමයින් ද අන්තිමයින් බොහෝ දෙනෙක් ප්‍රථමයින් ද වනු ඇත.</verse>
			</chapter>
			<chapter number="20">
				<verse number="1">“මන්ද ස්වර්ග රාජ්‍යය, තම මිදි වත්තේ වැඩට කම්කරුවන් කුලියට ගැනීමට අරුණ උදෙන්ම පිටත් වූ ඉඩම් හිමියකුට සමාන ය.</verse>
				<verse number="2">කම්කරුවනට දිනකට ඩිනාරිය බැගින් දීමට එකඟව ඔහු ඔවුන් තම මිදි වත්තට යැවී ය.</verse>
				<verse number="3">“තුන් වන පැයේ පමණ පිටතට ගිය ඔහු වැඩක් නැතිව කඩ-මණ්ඩියේ සිටගෙන සිටි තවත් අය දැක,</verse>
				<verse number="4">ඔවුන් අමතා, ‘ඔබත් මිදි වත්තට යන්න. යුතු පරිදි මම ඔබට ගෙවන්නෙමි’ යි කීවේ ය.</verse>
				<verse number="5">එවිට ඔවුහු ද එහි ගියහ. “යළි හයවන පැයේ හා නව වන පැයේ පමණ ද පිටතට ගිය ඔහු එසේම කළේ ය.</verse>
				<verse number="6">එකොළොස්වන පැයේ පමණ ද පිටතට ගිය ඔහු තවත් නිකරුණේ සිටගෙන සිටියවුන් දැක, ‘වැඩක් නැතිව දවස තිස්සේ මෙතැන හිටගෙන ඉන්නේ ඇයි දැ?’ යි ඔවුන්ගෙන් ඇසී ය.</verse>
				<verse number="7">“ ‘කිසිවකු අප වැඩට නො ගත් නිසා යැ’ යි ඔවුහු කීහ. “ ‘ඔබත් මිදි වත්තට යන්නැ’ යි ඔහු ඔවුනට පැවසී ය.</verse>
				<verse number="8">“සවස් වූ කල තම කළමනාකරු ඇමතූ ඉඩම් හිමියා, ‘කම්කරුවන් කැඳවා, අන්තිමට ආ අයගෙන් පටන් ගෙන මුලින් ආ අය දක්වා ඔවුන්ගේ පඩිය ගෙවන්නැ’ යි කීවේ ය.</verse>
				<verse number="9">“අවසන් පැයේදී වැඩට ගනු ලැබූ කම්කරුවෝ අවුත්, එකකු ඩිනාරිය බැගින් ලදහ.</verse>
				<verse number="10">මුලින්ම වැඩට ගනු ලැබූවෝ පැමිණ, තමනට වැඩියෙන් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වූහ. එහෙත්, ඒ හැමට ලැබුණේ ද එකකුට ඩිනාරිය බැගිනි.</verse>
				<verse number="11">එය ලබාගත් ඔවුහු ඉඩම් හිමියාට එරෙහිව මැසිවිලි නගන්නට වී,</verse>
				<verse number="12">‘අන්තිමට වැඩට ආ මේ මිනිසුන් වැඩ කළේ එක පැයක් පමණයි. එහෙත් දවසේ බර උසුලමින්, අධි උෂ්ණයත් දැරූ අපට ඔබ ඔවුන් සමාන කර ඇතැ’ යි කීහ.</verse>
				<verse number="13">“එවිට ඔහු ඔවුන්ගෙන් කෙනකුට පිළිතුරු දෙමින්, ‘මිත්‍රය, මා ඔබට අසාධාරණයක් කරනවා නො වේ. ඩිනාරියකට වැඩ කරන්නට ඔබ එකඟ වූවා නො වේ ද?</verse>
				<verse number="14">ඔබට හිමි දේ අරගෙන යන්න. ඔබට දුන් ලෙසම අන්තිමට වැඩට ගත් මේ අයටත් ගෙවීම මාගේ කැමැත්තයි.</verse>
				<verse number="15">මට හිමි දෙයින් මා කැමති දෙයක් කරන්නට මට අයිතිය නැද්ද? නැතහොත් මගේ ත්‍යාගශීලීත්වය ගැන ඔබ ඊර්ෂ්‍යා කරනවා දැ?’ යි ඇසී ය.</verse>
				<verse number="16">“මෙසේ අන්තිමයින් ප්‍රථමයින් ද ප්‍රථමයින් අන්තිමයින් ද වනු ඇතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="17">යෙරුසලම බලා ගමන් ගන්නා අතරේ යේසුස්වහන්සේ ගෝලයින් දොළොස් දෙනා පසෙකට කැඳවා, මඟදී ඔවුන් අමතමින්,</verse>
				<verse number="18">“ඔන්න, අප දැන් යන්නේ යෙරුසලමටයි. එහිදී මනුෂ්‍ය පුත්‍රයා නායක පූජකයින් හා දහම් පඬිවරුන් අතට පාවා දෙනු ලබනු ඇත. ඔවුහු උන්වහන්සේ මරණයට තීන්දු කර,</verse>
				<verse number="19">ඉන්පසු සරදම් කරන්නට, කස පහර දී කුරුසිපත් කරන්නට විදේශීන් අතට එතුමාණන් පාවා දෙනු ඇත. තුන් වන දවසේ උන්වහන්සේ යළි නැගිටුවනු ලබන සේකැ” යි පැවසූ සේක.</verse>
				<verse number="20">ඉන්පසු සෙබදීගේ පුත්‍රයන්ගේ මව තම පුතුන් දෙදෙනා සමඟ උන්වහන්සේ වෙත පැමිණ, දණින් වැටී උන්වහන්සේගෙන් වරයක් ඉල්ලුවා ය.</verse>
				<verse number="21">“ඔබට ඕනෑ මොනවා දැ?” යි උන්වහන්සේ ඇසූ සේක. “ඔබගේ රාජ්‍යයේදී මාගේ මේ පුතුන් දෙදෙනාගෙන් කෙනකු ඔබගේ දකුණු පැත්තේ ද අනෙකා ඔබගේ වම් පැත්තේ ද හිඳගන්නට වර දෙන්නැ” යි ඕ කීවා ය.</verse>
				<verse number="22">යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ ඉල්ලන්නේ කුමක් ද කියා ඔබ දන්නේ නැත. මා බොන්නට යන කුසලානෙන් බොන්නට ඔබටත් පුළුවන් දැ?” යි ඇසූ සේක. “අපට පුළුවනැ” යි ඔවුහු පිළිතුරු දුන්හ.</verse>
				<verse number="23">එවිට යේසුස්වහන්සේ, “සැබවින් ම ඔබ මගේ කුසලාන පානය කරනු ඇත. එහෙත් මගේ දකුණු පස හෝ වම් පස හෝ හිඳ ගැනීමට දීම මා සතුවූවක් නො වේ. මාගේ පියාණන්වහන්සේ කවරකු සඳහා ඒවා පිළියෙල කරන ලද සේක් ද ඒවා අයිති ඔවුනට යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="24">දහ දෙනා ඒ වග ඇසූ කල ඒ සහෝදරයින් දෙදෙනා සමඟ උරණ වූහ.</verse>
				<verse number="25">යේසුස්වහන්සේ ඔවුන් එකට කැඳවා, “අන්‍ය-ජාතිකයින්ගේ පාලකයෝ ඔවුන්ට ස්වාමිත්වය පාන බවත්, ඔවුන්ගේ උසස් නිලතල දරන්නෝ ඔවුන්ට අධිපතිකම් පාන බවත් ඔබ දන්නහු ය.</verse>
				<verse number="26">එහෙත් ඔබ අතරේ එසේ නො විය යුතුයි. ඔබ අතරේ උත්තමයා, වන්නට කැමති තැනැත්තා ඔබගේ සේවකයා විය යුතුයි.</verse>
				<verse number="27">මූලිකයා වෙන්නට කැමති තැනැත්තා ඔබගේ දාසයා විය යුතුයි.</verse>
				<verse number="28">එසේම මනුෂ්‍ය පුත්‍රයාණන් සේවය ලබන්නට නො ව, සේවය කිරීමටත්, බොහෝ දෙනා උදෙසා වන්දියක් වශයෙන් තම ජීවිතය දීමටත් පැමිණියේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="29">ඔවුන් යෙරිකෝවෙන් පිටත්ව යද්දී, විශාල ජනකායක් උන්වහන්සේ පස්සේ ගියහ.</verse>
				<verse number="30">එවිට මෙන්න, පාර අයිනේ හිඳ සිටි අන්ධයින් දෙදෙනෙක්, යේසුස්වහන්සේ එතැන පසු කොට යන බැව් අසා, “ස්වාමිනි, දාවිත්ගේ පුත්‍රයාණෙනි, අපට කරුණා කළ මැනව!” යි මොර ගසන්නට වන්හ.</verse>
				<verse number="31">නිශ්ශබ්ද වන ලෙස ජනයා ඔවුනට තරවටු කළහ. එහෙත් ඔවුහු වඩ වඩා උස් හඬ නගමින්, “ස්වාමිනි, දාවිත්ගේ පුත්‍රයාණෙනි, අපට අනුකම්පා කළ මැනව!” යි මොරගැසූහ.</verse>
				<verse number="32">යේසුස්වහන්සේ නැවතී, ඔවුනට අඬගසා, “මගෙන් ඔබට කෙරෙන්න ඕනෑ කුමක් දැ?” යි ඇසූ සේක.</verse>
				<verse number="33">“ස්වාමිනි, අපගේ ඇස් ඇරිය මැනව” යි ඔවුහු කීහ.</verse>
				<verse number="34">යේසුස්වහන්සේ ඔවුනට අනුකම්පා කළ සේක්, ඔවුන්ගේ ඇස් ස්පර්ශ කළහ. එකෙණෙහිම ඔවුහු පෙනීම ලැබ, උන්වහන්සේ පස්සේ ගියහ.</verse>
			</chapter>
			<chapter number="21">
				<verse number="1">ඔවුන් යෙරුසලමට ළඟා වෙමින්, ඔලීව කන්දේ පිහිටි බෙත්පාගයට ළඟා වූ කල, යේසුස්වහන්සේ ගෝලයන් දෙදෙනකු පිටත් කරමින්,</verse>
				<verse number="2">ඔවුන් අමතා, “ඔබට ඉදිරියෙන් ඇති ගමට යන්න, එකෙණෙහි කොටළු දෙනක ද ඌ සමඟ කොටළු වස්සකු බැඳ සිටිනු ඔබට දකින්නට ලැබෙයි. උන් ලිහා මා වෙත ගෙනෙන්න.</verse>
				<verse number="3">කිසිවකු ඔබට කිසිවක් කීවොත්, ‘ස්වාමින්වහන්සේට උන් උවමනා වී ඇතැ’ යි කියන්න. එවිට ඔහු එවෙලේම උන් එවනු ඇතැ” යි කී සේක.</verse>
				<verse number="4">මෙය සිදු වූයේ දිවැසිවරයා මඟින් පැවසුණු දෑ ඉටු වන පිණිස ය:</verse>
				<verse number="5">“ ‘ඔන්න, ඔබේ රජ නිහතමානීව, බූරුවකු පිට නැගී, කොටළු වස්සකු පිට නැගී, ඔබ වෙත එතැ’ යි සියොන් දියණියට කියන්න” යනුයි.</verse>
				<verse number="6">ගෝලයෝ පිටත්ව ගොස්, ඔවුනට යේසුස්වහන්සේ කියා දුන් පරිදි කළහ.</verse>
				<verse number="7">ඔවුහු කොටළු දෙන හා වස්සා ගෙන අවුත්, තමන්ගේ උඩු කබා උන් පිට අතුළහ. උන්වහන්සේ ඒ පිට හිඳගත් සේක.</verse>
				<verse number="8">අති මහත් ජනකායක් තම උඩු කබා මහ මඟ අතුළහ. සෙස්සෝ ගස්වල අතු කපා, ඒවා මග දිගේ අතුළහ.</verse>
				<verse number="9">උන්වහන්සේට පෙරටුව හා උන්වහන්සේට පිටුපසින් ගමන් ගත් ජනතාවෝ, “දාවිත්ගේ පුතණුවන්ට හෝසන්නා! ” “ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාණන් ආශිර්වාදිත ය!” “උසස් තැන්හි හෝසන්නා!” යි මහ හඬ නැගුවෝ ය.</verse>
				<verse number="10">උන්වහන්සේ යෙරුසලමට ඇතුල් වූ කල, මුළු මහත් පුරවරයම කැලඹී, “මේ කවුරු දැ?” යි විමසූහ.</verse>
				<verse number="11">“උන්වහන්සේ ගලීලයේ නාසරෙත්හි දිවැසිවර යේසුස්වහන්සේ යැ” යි ජනයා කීහ.</verse>
				<verse number="12">දේව මාලිගයට ඇතුළු වූ යේසුස්වහන්සේ, මාලිගය තුළ විකුණමින් ද මිලට ගනිමින් ද සිටි සියල්ලන් පලවා හැරිය සේක. විනිමය මාරුකරන්නන්ගේ මේස හා පරෙවි වෙළඳුන්ගේ බංකු පෙරළා දැමූ උන්වහන්සේ,</verse>
				<verse number="13">ඔවුන් අමතමින්, “ලියා ඇත්තේ, ‘මාගේ ගෘහය යාච්ඤාවේ ගෘහයකි’ කියා ය. එහෙත් නුඹලා එය ‘සොරුන්ගේ ගුහාවක්’ කරති” යි කී සේක.</verse>
				<verse number="14">අන්ධයෝ ද කොරු ද දේව මාලිගයෙහි උන්වහන්සේ වෙත ආහ. උන්වහන්සේ ඔවුන් සුව කළ සේක.</verse>
				<verse number="15">එහෙත් නායක පූජකයෝ හා දහම් පඬිවරු, උන්වහන්සේ කළ අරුම පුදුම හා “දාවිත්ගේ පුත්‍රයාණන්ට හෝසන්නා!” කියමින් දේව මාලිගය තුළ දරුවන්ගේ මොරගෑම දැක, කුපිත වූහ.</verse>
				<verse number="16">“මොවුන් කියන දේ ඔබට ඇහෙනවා දැ?” යි ඔවුහු උන්වහන්සේගෙන් ඇසූහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔව්, මට ඇසේ, “ ‘ළදරුවන්ගේ ද කිරි දරුවන්ගේ ද මුවින් ඔබ ප්‍රශංසාව සලසා ඇත’ යන්න කිසි කලෙක ඔබ කියවා නැද්දැ?” යි කී සේක.</verse>
				<verse number="17">ඉන්පසු උන්වහන්සේ ඔවුන්ගෙන් බැහැරව, පුරවරයෙන් නික්ම, බෙතානිය වෙත පැමිණ, රාත්‍රිය එහි ගත කළ සේක.</verse>
				<verse number="18">උදයේ ආපසු පුරවරයට එද්දී උන්වහන්සේට කුසගිනි දැනිණි.</verse>
				<verse number="19">මග අසල වූ අත්තික්කා ගහක් දුටු උන්වහන්සේ එතැනට ගිය නමුදු, එහි කොළ මිස, අන් කිසිවක් නො වීය. එවිට උන්වහන්සේ, “යළි කිසි දින පල දැරීමක් නුඹට නො වෙත්වා!” යි ඒ ගසට කී සේක. එකෙණෙහිම ඒ ගස වියළී ගියේ ය.</verse>
				<verse number="20">ඒ දුටු ගෝලයෝ ඉන් විස්මිතව, “එකපාරට මේ අත්තික්කා ගහ වියළුණේ කෙසේ දැ?” යි ඇසූහ.</verse>
				<verse number="21">යේසුස්වහන්සේ පිළිතුරු දෙන සේක්, “සැබවින් ම මා ඔබට කියන්නේ, ඔබට ඇදහිල්ල ඇත්නම්, සැක නො කරන්නේ නම්, ඔබට කළ හැකි වන්නේ, මේ අත්තික්කා ගහට කළ දේ පමණක් නො වේ. මේ කන්දට කතා කොට, ‘ඉදිරී ගොස්, මුහුදේ වැටෙනු’ යි කීව ද එය සිදුවනු ඇත.</verse>
				<verse number="22">ඇදහිල්ල ඇතුව, යාච්ඤාවෙන් ඔබ ඉල්ලන කවරක් වුව ද ඔබට ලැබෙනු ඇතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="23">යේසුස්වහන්සේ දේව මාලිගාවට ඇතුළුව, උගන්වමින් සිටියදී, ජනයාගේ නායක පූජකවරු හා වැඩිහිටියෝ, උන්වහන්සේ වෙත පැමිණ, “ඔබ මේ දේවල් කරන්නේ කවර අධිකාරී බලයකින් ද? මේ බලය ඔබට දුන්නේ කවුරු දැ?” යි ඇසූහ.</verse>
				<verse number="24">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මමත් ඔබෙන් එක ප්‍රශ්නයක් අහන්නම්; ඔබ පිළිතුරු දුන්නොත්, මා මේ දේවල් කරන්නේ කවර අධිකාරිත්වයකින් ද කියා මම ඔබට කියන්නම්;</verse>
				<verse number="25">යොහන්ගේ බව්තීස්මය කොහෙන් පැමිණි එකක් ද? ස්වර්ගයෙන් ද? නැතිනම් මිනිසාගෙන් දැ?” යි ඇසූ සේක. එවිට ඔවුහු තම තමන් අතරේ සාකච්ඡා කරමින්, “ ‘ස්වර්ගයෙනි’ යි කීවොත්, ‘එසේ නම් ඔබ ඔහු විශ්වාස නො කළේ මන්දැ?’ යි ඔහු අපෙන් අසනු ඇත.</verse>
				<verse number="26">‘මිනිසුන්ගෙනි’ යි කියා අප කීවොත්, සමූහයාට අප බය ය; මන්ද යොහන්, දිවැසිවරයකු බවට සියලු ජනයා තුළ පිළිගැනීමක් ඇතැ” යි කීහ.</verse>
				<verse number="27">එබැවින් ඔවුහු යේසුස්වහන්සේට පිළිතුරු දෙමින්, “අප දන්නේ නැතැ” යි කීහ. එවිට උන්වහන්සේ ද “මා මේ දේවල් කරන්නේ කවර අධිකාරී බලයක් පිට ද කියා මාත් ඔබට කියන්නේ නැතැ” යි කී සේක.</verse>
				<verse number="28">“ඔබ සිතන්නේ කුමක් ද? එක් මිනිසකුට පුතුන් දෙදෙනකු සිටියා. ඔහු පළමු වැන්නා වෙත ගොස්, ‘පුත, ගොස් අද මිදි වත්තේ වැඩ කරන්නැ’ යි කීවා.</verse>
				<verse number="29">“ඔහු පිළිතුරු දෙමින්, ‘මට බැරි යැ’ යි කී නමුත්, පසුව ඔහු සිත වෙනස් කරගෙන, එහි ගියා.</verse>
				<verse number="30">“පියා අනෙක් පුතු වෙත ගොස් ඒ දේම කීවා. ‘හොඳමයි මම යන්නම් ස්වාමිනි’ යි කීවත්, ඔහු ගියේ නැහැ.</verse>
				<verse number="31">“තම පියාගේ කැමැත්ත ඉටු කළේ මේ දෙදෙනාගෙන් කවරෙක් දැ?” යි ඇසූ සේක. “පළමු වැන්නා” යි ඔවුහු පිළිතුරු දුන්හ. යේසුස්වහන්සේ ඔවුන්ට කතා කරමින්, “සැබවින් ම මා ඔබට කියන්නේ, අයබදුකරුවන් හා වෙසඟනන් ඔබට පළමුවෙන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වන බවයි.</verse>
				<verse number="32">මන්ද යොහන් ධර්මිෂ්ඨකමේ මාවත පෙන්වමින් ඔබ වෙත ආයේ ය. ඔබ, ඔහු විශ්වාස කළේ නැත. එහෙත් අයබදුකරුවෝ හා වෙසඟනෝ ඔහු විශ්වාස කළහ. එය දුටු පසු වුව ද සිත වෙනස් කරගෙන, ඔබ ඔහු විශ්වාස කළේ නැත.</verse>
				<verse number="33">“තවත් උපමාවකට සවන් දෙන්න: ඉඩම් හිමියෙක් සිටියේ ය. ඔහු මිදි වත්තක් වවා, වත්ත වටා තාප්පයක් බැඳ, මිදි මඩින මෝලක් එහි කැණ, මුර ටැඹක් ද ගොඩ නැගී ය. පසුව මිදි වත්ත ගොවීනට බදු දී, පිට රටකට ගියේ ය.</verse>
				<verse number="34">පල නෙළන කාලය උදා වූ කල, තම කොටස ලබන පිණිස, ඔහු බදුකරුවන් වෙත තම සේවකයින් යැවී ය.</verse>
				<verse number="35">“බදුකරුවෝ ඔහුගේ සේවකයන් අල්ලා, එකකුට තැලූහ; තවකකු මැරූහ; අනෙකාට ගල් ගැසූහ.</verse>
				<verse number="36">එවිට ඔහු පළමු වතාවට වඩා වැඩි සේවක පිරිසක් යැවී ය. ඔවුහු ඔවුනටත් ඒ දේම කළහ.</verse>
				<verse number="37">අන්තිමට ඔහු තම පුත්‍රයා ඔවුන් වෙත යැවී ය. ‘ඔවුන් මගේ පුත්‍රයාට ගරු කරනු ඇතැ’ යි කීවේ ය.</verse>
				<verse number="38">“එහෙත් බදුකරුවෝ ඔහුගේ පුත්‍රයා දුටු කල, ‘මෙන්න උරුමක්කාරයා! එමු; ඔහු මරා, ඔහුගේ උරුමය ගනිමු’ යි එකිනෙකාට පැවසූහ.</verse>
				<verse number="39">මෙසේ ඔවුහු, ඔහු අල්ලා, මිදි වත්තෙන් පිටත හෙළා, ඔහු මරා දැමූහ.</verse>
				<verse number="40">“එබැවින්, මිදි වතු හිමියා ආ කල, ඒ බදුකරුවනට කුමක් කරනු ඇද්දැ?” යි ඇසූ සේක.</verse>
				<verse number="41">ඔවුහු පිළිතුරු දෙමින්, “ඔහු එම අධමයින් කාලකණ්ණි මරණයකට පත් කරනු ඇත. තවද නිසි වාරයට තම පලදාව තමාට දෙන වෙනත් බදුකරුවනට ඔහු ඒ මිදි වත්ත බාර දෙනු ඇතැ” යි කීහ.</verse>
				<verse number="42">එවිට ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “ ‘ඉදිකරන්නන් විසින් ඉවත ලූ ගල, ප්‍රධාන ඉදිකිරීම් ගල බවට පත්ව ඇත; මෙය ස්වාමින්වහන්සේම කළ දෙයකි, අපගේ ඇස්වලට එය හරි අරුමයකි’ යන ශුද්ධ ලියවිලි පාඨය ඔබ කෙදිනකවත් කියවා නැද්ද?</verse>
				<verse number="43">“එබැවින් මම ඔබට කියන්නේ, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබගෙන් ඉවතට ගෙන, එහි පල උපද්දන වෙනත් ජනතාවකට දෙනු ලබන්නේ ය.</verse>
				<verse number="44">මේ ගල පිට වැටෙන්නා, කැබලිවලට කඩා දමනු ලැබේ; ඒ ගල යමකු පිට වැටුණ කල, එය ඔහු සුණු විසුණු කරනු ලැබේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="45">නායක පූජකවරු හා පරිසිවරු උන්වහන්සේගේ එම උපමා ඇසූ කල ඒවා තමන්ට එරෙහිව එල්ල කරන ලද්දක් බැව් වටහා ගත්හ.</verse>
				<verse number="46">උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට මං සොයමින් සිටි නමුදු ඔවුහු ජන සමූහයාට බය වූහ. මන්ද උන්වහන්සේ දිවැසිවරයකු වශයෙන් ජනයා පිළිගෙන තිබූ බැවිනි.</verse>
			</chapter>
			<chapter number="22">
				<verse number="1">යේසුස්වහන්සේ යළිත් උපමාවලින් ඔවුනට කතා කරමින්,</verse>
				<verse number="2">“ස්වර්ග රාජ්‍යය, තම පුත්‍රයා සඳහා මංගල භෝජනයක් පැවැත්වූ රජකුට සමාන කළ හැකි ය.</verse>
				<verse number="3">මංගල සාදයට ඇරියුම් කර තිබූ අය කැඳවමින් ඔහු තම සේවකයින් පිටත් කර යැවී ය. එහෙත් ඔවුහු එන්නට නො කැමති වූහ.</verse>
				<verse number="4">“එවිට ඔහු තවත් සේවකයින් යවමින්, ‘ඔවුන්ට මෙසේ කියා යැවී ය: ඔන්න, මාගේ භෝජන සංග්‍රහය සූදානම්; මගේ ගවයින් හා තර කළ මගේ සතුන් මරා, සියල්ල සූදානම්; මංගල සාදයට එන්න.’</verse>
				<verse number="5">“එහෙත් ඔවුහු ඒ නො තකා, කෙනෙක් තම ගොවිපොළටත්, කෙනෙක් තම ව්‍යාපාරයටත් ගිය අතර,</verse>
				<verse number="6">සෙසු අය ඔහුගේ සේවකයින් අල්ලා, නිග්‍රහ කොට, ඔවුන් මරා දැමූහ.</verse>
				<verse number="7">රජු කුපිත විය. ඔහු තම හමුදාව යවා, ඒ මිනීමරුවන් විනාශ කරවා, ඔවුන්ගේ නගරය ද ගිනි තැබ්බවී ය.</verse>
				<verse number="8">“ඉන්පසු තම සේවකයන් ඇමතූ ඔහු, ‘මංගල සාදය සූදානම්, එහෙත් ආරාධනා ලැබූ අය ඊට සුදුසු නැත.</verse>
				<verse number="9">එබැවින් මං මාවත්වලට ගොස්, ඔබට හමුවන තරම් දෙනා සාදයට කැඳවන්නැ’ යි කී ය.</verse>
				<verse number="10">සේවකයෝ මං මාවත්වලට ගියෝ, හොඳ හෝ නරක හෝ තමනට හමු වූ සියල්ලන් රැස් කළෝ ය. මෙසේ මංගල සාද ශාලාව අමුත්තන්ගෙන් පිරී ගියේ ය.</verse>
				<verse number="11">“එහෙත් රජු, අමුත්තන් දකින්නට පැමිණි කල, මංගල උත්සව ඇඳුමින් තොර මිනිසකු සිටිනු දුටුවේ ය.</verse>
				<verse number="12">රජු ඔහු අමතමින්, ‘මිත්‍රය, මංගල ඇඳුම් නො මැතිව ඔබ මෙතැනට ආවේ කොහොම දැ?’ යි ඇසී ය. මිනිසාට කතා නැති විය.</verse>
				<verse number="13">“එවිට රජු තම සේවකයින්ට කතා කොට, ‘මොහුගේ අත්, පා බැඳ, හැඬීමත්, දත්මිටි කෑමත් ඇති පිටත අන්ධකාරයෙහි හෙළනු’ යි කී ය.</verse>
				<verse number="14">“මන්ද ඇරියුම් ලබන්නෝ බොහෝ ය; එහෙත් තෝරාගනු ලබන්නෝ ස්වල්පයැ” යි පැවසූ සේක.</verse>
				<verse number="15">ඉන්පසු පරිසිවරු ඉවත්ව ගොස්, කට වචනයෙන් උන්වහන්සේ හසුකර ගැනීමට සැලසුම් කළහ.</verse>
				<verse number="16">ඔවුහු මෙසේ කියමින්, තම ගෝලයින් සමඟ හෙරෝදිවරුන් උන්වහන්සේ වෙත පිටත් කළහ. “ගුරුතුමනි, ඔබතුමා සත්‍යවාදී වූ, කිසිවකුගේ බලපෑමකට යටත් නො වන කෙනකු වග අප දන්නවා; මන්ද ඔබ මිනිසුන්ගේ තරාතිරම් නො බලන, දෙවියන්වහන්සේගේ මාර්ගය සත්‍යයට එකඟව උගන්වන බවත් අපි දනිමු.</verse>
				<verse number="17">එනිසා මේ ගැන ඔබගේ අදහස් අපට කියන්න; සීසර්ට බදු ගෙවීම නිත්‍යානුකූල ද? නැද්දැ?” යි ඇසූහ.</verse>
				<verse number="18">එහෙත් ඔවුන්ගේ දුෂ්ට අදහස දැනගත් යේසුස්වහන්සේ, “වංචනිකයිනි, නුඹලා මා පරීක්ෂා කරන්නේ මන්ද?</verse>
				<verse number="19">බදු ගෙවීමට ගන්නා කාසිය මට පෙන්වන්නැ” යි කී සේක. ඔවුහු ඩිනාරියක කාසියක් උන්වහන්සේ වෙත ගෙනාහ.</verse>
				<verse number="20">එවිට උන්වහන්සේ, “මේ කවරකුගේ රූපය ද? කවරකුගේ සටහන දැ?” යි ඇසූ සේක.</verse>
				<verse number="21">“සීසර්ගේ යැ” යි ඔවුහු කීහ. උන්වහන්සේ එවිට, “සීසර්ගේ දේ සීසර්ටත්, දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දෙන්නැ” යි ඔවුන්ට කී සේක.</verse>
				<verse number="22">ඒ ඇසූ කල, ඔවුහු මවිත වූහ. එබැවින් ඔවුහු උන්වහන්සේ අත්හැර, ඉවත ගියහ.</verse>
				<verse number="23">නැවත නැගිටීමක් නැතැයි කියන සද්දුසිවරු ද එදිනම පැමිණ, උන්වහන්සේගෙන් ප්‍රශ්න කළහ.</verse>
				<verse number="24">ඔවුහු කතා කරමින්, “ගුරුතුමනි, යමෙක් දරුවන් නො ලැබ මළොත්, ඔහුගේ සහෝදරයා ඒ වැන්දඹුව ආවාහ කරගෙන, තම සහෝදරයා නමට දරු පල ලබා දිය යුතු බැව් මෝසෙස් කියා තිබේ.</verse>
				<verse number="25">අප අතර සහෝදරයින් හත්දෙනෙක් සිටියා. පළමු වැන්නා විවාහ වුණා; පසුව මැරුණා. ඔහුට දරුවන් නො වූ නිසා, ඔහුගේ භාර්යාව ඔහුගේ සහෝදරයාට බාර වූවා.</verse>
				<verse number="26">දෙවැන්නාටත්, තෙවැන්නාටත්, ඉන්පසු හත්වැන්නා දක්වාත් සිදු වූයේ එයමයි.</verse>
				<verse number="27">මේ හැමට පසුව ඒ ස්ත්‍රිය ද මිය ගියා.</verse>
				<verse number="28">මරණින් නැවත නැගිටීමේදී ඈ මේ හත්දෙනාගෙන් කාගේ භාර්යාව වන්නී ද? මන්ද ඒ සැවොම ඇය විවාහ කර ගත් බැවිනැ” යි කීහ.</verse>
				<verse number="29">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ වරද්දාගෙන ඇත්තේ, ශුද්ධ ලියවිලිවත්, දෙවියන්වහන්සේගේ බලයවත් නො දන්නා නිසයි.</verse>
				<verse number="30">මළවුන් නැවත නැගිටින කල, ඔවුන් ආවාහ කර ගන්නේවත්, විවාහ කර දෙන්නේවත් නැත. ඔවුන් ස්වර්ගයේ දේව දූතයින් හා සමාන වේ.</verse>
				<verse number="31">මළවුන් නැවත නැගිටීම ගැන දෙවියන්වහන්සේ ඔබට පැවසූ දෑ ඔබ කියවා නැද්ද? එනම්,</verse>
				<verse number="32">‘මම ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ ය; ඊසාක්ගේ දෙවියන්වහන්සේ ය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ ය.’ උන්වහන්සේ මළවුන්ගේ නො ව, ජීවතුන්ගේ දෙවියන්වහන්සේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="33">ජන සමූහයා ඒ ඇසූ කල, උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන විස්මිත වූහ.</verse>
				<verse number="34">යේසුස්වහන්සේ සද්දුසිවරුන් නිරුත්තර කළ වග ඇසූ පරිසිවරු එක්රැස් වූහ.</verse>
				<verse number="35">නීති වේදියකු වූ ඔවුන්ගෙන් කෙනෙක් උන්වහන්සේ පරීක්ෂා කරමින්, ප්‍රශ්න කරන්නේ:</verse>
				<verse number="36">“ගුරුතුමනි, දහම් නීතියෙහි ශ්‍රේෂ්ඨතම ආඥාව කවර එක දැ?” යි ඇසී ය.</verse>
				<verse number="37">උන්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ ‘ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ජීවයෙන් ද ඔබේ මුළු බුද්ධියෙන් ද ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට ප්‍රේම කරනු’</verse>
				<verse number="38">මූලිකවූත්, ශ්‍රේෂ්ඨවූත් ආඥාව එයයි.</verse>
				<verse number="39">දෙවැන්න ඊට සමානයි: එනම්, ‘ඔබට ප්‍රේම කරන්නා සේ, ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න’ යන්න ය.</verse>
				<verse number="40">සමස්ත දහම් නීතියත්, දිවැසි වැකිත් රඳා පවත්නේ මෙම ආඥා දෙක මතයැ” යි පැවසූ සේක.</verse>
				<verse number="41">පරිසිවරුන් එක් රැස්ව සිටියදී යේසුස්වහන්සේ ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින්,</verse>
				<verse number="42">“ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔබ හිතන්නේ කොහොම ද? උන්වහන්සේ කවරකුගේ පුත්‍රයා දැ?” යි ඇසූ සේක. “දාවිත්ගේ පුත්‍රයා යැ” යි ඔවුහු පැවසූහ.</verse>
				<verse number="43">එවිට යේසුස්වහන්සේ කතා කරමින්, “එසේ නම් දාවිත් ම ආත්මයාණන්වහන්සේ මඟින් කතා කරමින්, ක්‍රිස්තුස්වහන්සේට ‘ස්වාමින්වහන්සේ ය’ කියා ඇමතුවේ කෙසේ ද?</verse>
				<verse number="44">“ ‘මා විසින් ඔබේ සතුරන් ඔබේ පා යටට දමන තෙක් මා දකුණු පසින් අසුන් ගන්නැ’ යි ස්වාමින්වහන්සේ, මා ස්වාමින්වහන්සේට පැවසූහ.</verse>
				<verse number="45">මෙසේ දාවිත් ම උන්වහන්සේට ස්වාමින්වහන්සේ ය කියනවා නම්, උන්වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේ දැ?” යි ඇසූ සේක.</verse>
				<verse number="46">වචනයකින් හෝ උන්වහන්සේට පිළිතුරු දෙන්නට කිසිවකුට නුපුළුවන් විණි. එතැන් පටන් තවදුරටත් උන්වහන්සේගෙන් ප්‍රශ්න කිරීමට කිසිවකු එඩිතර නො විණි.</verse>
			</chapter>
			<chapter number="23">
				<verse number="1">ඉන්පසු යේසුස්වහන්සේ ජන සමූහයාටත්, තම ගෝලයින්ටත් මෙසේ පැවසූ සේක:</verse>
				<verse number="2">“දහම් පඬිවරු හා පරිසිවරු මෝස‍ෙස්ගේ ආසනයේ හිඳ ගනිති.</verse>
				<verse number="3">එබැවින් ඔවුන් ඔබට කියන සියලු දෑ කරන්න; පිළිපදින්න; එහෙත් ඔවුන් කරන දේ නො කරන්න. මන්ද තමන් දේශනා කරන දේ ඔවුන් පිළිපදින්නේ නැත.</verse>
				<verse number="4">ඔවුහු දරන්නට බැරි, මහ බර පොදි බැඳ, ඒවා මිනිසුන්ගේ කර පිට පටවති; එහෙත් ඒවා අහක් කිරීමට ඇඟිල්ලකින්වත් සහාය නො දෙති.</verse>
				<verse number="5">“කරන හැම දෙයක්ම ඔවුන් කරන්නේ, අන්‍යයනට පෙනෙන පිණිස ය: ඔවුහු තම පිලක්තාරි පළල් කර ගනිමින්, තම වස්ත්‍ර-දාවලු මහත් කර ගනිති.</verse>
				<verse number="6">ඔවුහු මංගල සාදයන්හිදී ගෞරවනීය ස්ථාන දැරීමටත්, සිනගෝගවල විශේෂ ආසන දැරීමටත් ආශා කරති;</verse>
				<verse number="7">ඔවුහු ප්‍රසිද්ධ ස්ථානවලදී ගරු බුහුමන් ලැබීමටත්, මිනිසුන්ගෙන් ‘රබ්බී’ කියා අමතා ගැනීමටත් ආශා කරති.</verse>
				<verse number="8">“එහෙත් ඔබ, අනුන් ලවා රබ්බී කියා අමතා ගත යුතු නැත. මන්ද ඔබට සිටින්නේ එක ගුරුවරයෙකි. ඔබ හැම සහෝදරයින් ය.</verse>
				<verse number="9">මිහි පිට කිසිවකුට ඔබේ පියාණන්යැයි නො කියන්න. මන්ද ස්වර්ගයේ වෙසෙන එක පියාණන් කෙනකු ඔබට සිටී.</verse>
				<verse number="10">උපදේශකයෙකැයි ඔබ අමතා නො ගත යුතු ය. මන්ද ඔබට උපදේශක එක්කෙනෙකි; ඒ ක්‍රිස්තුස්වහන්සේ ය.</verse>
				<verse number="11">ඔබ අතරේ ශ්‍රේෂ්ඨතමයා, ඔබගේ සේවකයා වනු ඇත.</verse>
				<verse number="12">මන්ද තමාම උසස් කරගන්නා, පහත් කරනු ලැබේ. තමාම පහත් කරගන්නා, උසස් කරනු ලැබේ.</verse>
				<verse number="13">“දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයිනි, නුඹලාට වන විපතක මහත! නුඹලා මිනිසුන්ගේ මුහුණටම ස්වර්ග රාජ්‍යයේ දොරටු වසා දමති. නුඹලා ඇතුළු වන්නේ නැත; ඇතුළු වන්නට යන අයට ඉඩ දෙන්නේ ද නැත.</verse>
				<verse number="14">දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! වැන්දඹුවන්ගේ ගෙවල් කා දමන නුඹලා, දීර්ඝ ව්‍යාජ යාච්ඤා පවසති. එබැවින් නුඹලාට ලැබෙන දඬුවම වඩාත් බරපතළ ය.</verse>
				<verse number="15">“දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! එක් කෙනකු හරවා ගන්නට නුඹලා මුහුද හා ගොඩබිම හරහා සැරි සරති. එසේ හරවාගත් පසු, නුඹලා මෙන් දෙගුණයක නිරයේ පුතකු බවට නුඹලා ඔහු පත් කරති.</verse>
				<verse number="16">“මගපෙන්වන අන්ධයිනි, නුඹලාට වන විපතක මහත! ‘යමෙක්, දේව මාලිගය-පල්ල කියා දිවුළහොත්, එය ගණන් නො ගැනේ’ කියා ද එහෙත්, ‘දේව මාලිගයේ රත්රන්-පල්ල කියා දිවුළහොත් ඒ දිවිරීමෙන් ඔහු බැඳේ ය’ කියා ද නුඹලා කියති.</verse>
				<verse number="17">අන්ධ මෝඩයිනි, වඩා උතුම් කොයික ද? රත්රන් ද? රත්රන් විශුද්ධ කරන දේව මාලිගය ද?</verse>
				<verse number="18">‘යමෙක්, පූජාසනය-පල්ල කියා දිවුළහොත්, එය ගණන් නො ගැනේ යයි ද එහෙත්, පූජාසනය මත වූ පඬුර-පල්ල කියා දිවුළහොත්, ඒ දිවිරීමෙන් ඔහු බැඳෙතැ’ යි ද නුඹලා කියති.</verse>
				<verse number="19">අන්ධ මිනිසුනි, වඩා උතුම් කොයික ද? පඬුර ද? පඬුර විශුද්ධ කරන පූජාසනය ද?</verse>
				<verse number="20">එනිසා, පූජාසනය ගැන දිවුරන්නා පූජාසනයත්, ඒ මත ඇති හැම දේ ගැනත් දිවුරයි.</verse>
				<verse number="21">එසේම, දේව මාලිගය ගැන දිවුරන්නා දේව මාලිගයත්, එහි සිටින තැනැන්වහන්සේ ගැනත් දිවුරයි.</verse>
				<verse number="22">තවද ස්වර්ගය ගැන දිවුරන්නා, දෙවියන්වහන්සේගේ සිංහාසනයත්, සිංහාසනයේ හිඳිනා තැනැන්වහන්සේ ගැනත් දිවුරයි.</verse>
				<verse number="23">“දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! නුඹලා සුවඳතලා, සුදුදුරු හා කළුදුරුවලින් දසයෙන් කොටස දෙති. එහෙත් යුක්තිය, දයාව හා විශ්වාසවන්තකම යන දහම් නීතියේ වඩා වැදගත් කරුණු නුඹලා පැහැර හරිති. පළමු කී දෑ පැහැර නො හැර මේ දෙවනුව කී දෑත් ඔබ පිළිපැදිය යුතුව තිබේ.</verse>
				<verse number="24">මගපෙන්වන අන්ධයිනි, නුඹලා කෝඳුරුවා පෙරා හැර, ඔටුවා ගිල දමති.</verse>
				<verse number="25">“දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! නුඹලා පීරිසි-කෝප්පවල පිට පැත්ත සෝදන නමුත් ඇතුළාන්තය තණ්හාවෙනුත්, ආත්මාර්ථයෙනුත් පිරිලා.</verse>
				<verse number="26">අන්ධ පරිසිවරය, පළමුව පීරිසියේත්, කෝප්පයේත් ඇතුළු පැත්ත පවිත්‍ර කරන්න. එවිට පිට පැත්ත ද පවිත්‍ර වේ.</verse>
				<verse number="27">“දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! නුඹලා සුදු හුණු ගෑ සොහොන් කොත් වගේ ය. පිටතින් ඒවා අලංකාරයට පෙනේ. එහෙත් ඒවායේ ඇතුළත ඇත්තේ, මළ මිනිසුන්ගේ ඇටකටු හා සකල අපවිත්‍ර දෑ ය.</verse>
				<verse number="28">නුඹලාත් එලෙස මිනිසුන් හමුවේ පිටත පෙනුමින් ධර්මිෂ්ඨයින් ය; එහෙත් නුඹලාගේ ඇතුළාන්තය කුහකකමින් හා නො පණත්කමින් පිරිලා ය.</verse>
				<verse number="29">“දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! නුඹලා දිවැසිවරුන්ගේ සොහොන් කොත් ගොඩ නගා, ධර්මිෂ්ඨයින්ගේ මිනීවළවල් සරසා,</verse>
				<verse number="30">‘අපේ පියවරුන්ගේ කාලයේ අප සිටියා නම්, දිවැසිවරුන්ගේ ලේ හැලුමට අප ඔවුන් හා සම්බන්ධ නො වන්නෙමු’ යි කියති.</verse>
				<verse number="31">මෙසේ ඒ දිවැසිවරුන් මැරූ මිනීමරුවන්ගෙන් පැවත එන්නෝ නුඹලාම බැව් එයින් සාක්ෂි දරති.</verse>
				<verse number="32">නුඹලාගේ පියවරුන්ගේ පාප මිම්මේ අඩුව සම්පූර්ණ කරනු!</verse>
				<verse number="33">“සර්පයිනි! පොළොං පැටවුනි! නිරයට හෙළනු ලැබීමේ දඬුවමින් නුඹලා ගැලවෙන්නේ කෙසේ ද?</verse>
				<verse number="34">එබැවින් මෙන්න මම දිවැසිවරුන් ද නැණවතුන් ද ගුරුවරුන් ද නුඹලා වෙත එවමි. නුඹලා ඔවුන්ගෙන් ඇතමකු මරා දමනු ඇත; ඇතමකු කුරුසිපත් කරනු ඇත. සෙසු අයට නුඹලාගේ සිනගෝගවලදී තළා, නගරයෙන් නගරයට ඔවුන් ලුහුබඳිනු ඇත.</verse>
				<verse number="35">මෙසේ, ධර්මිෂ්ඨ ආබෙල්ගේ ලේ පටන් ශුද්ධස්ථානයටත්, පූජාසනයටත්, අතරදී නුඹලා විසින් මරා දමන ලද බරාකියාගේ පුත් සෙකරියාගේ ලේ දක්වා, පොළෝ තලය මත මරා දමන ලද සියලු ධර්මිෂ්ඨයින්ගේ ලේවල වරද නුඹලා පිටට එනු ඇත.</verse>
				<verse number="36">සැබවින් ම මා ඔබට කියන්නේ, මේ හැම දෙයක්ම මේ පරම්පරාව පිටටම පැමිණෙනු ඇත කියායි.</verse>
				<verse number="37">“අහෝ! යෙරුසලම, යෙරුසලම, දිවැසිවරුන් මරා දමන්නා වූ, නුඹ වෙත එවනු ලැබූවන්ට ගල් ගසන්නා වූ නුඹ, කිකිළියක ඇගේ පැටවුන් ඇගේ පියාපත් යටට එකතු කරගන්නා සේ, නුඹේ දරු කැල එකතු කරන්නට මම කී වරක් නම් ආශා වූවෙම් ද? එහෙත් ඔබ කැමති වුණේ නැත.</verse>
				<verse number="38">මෙන්න! ඔබේ නිවාසය පාළුවට හැර දමලා.</verse>
				<verse number="39">මා ඔබට කියන්නේ, ‘ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාණන් ආශිර්වාදිත ය!’ කියා ඔබ කියන තුරු, යළි ඔබ මා දකින්නේ නැත.”</verse>
			</chapter>
			<chapter number="24">
				<verse number="1">යේසුස්වහන්සේ දේව මාලිගයෙන් නික්ම යද්දී, උන්වහන්සේගේ ගෝලයෝ දේව මාලිග ගොඩනැගිලි වෙත උන්වහන්සේගේ අවධානය යොමුකරවන්නට උන්වහන්සේ වෙත ආහ.</verse>
				<verse number="2">එවිට උන්වහන්සේ, “මේ සියල්ල ඔබට පෙනෙනවා නො වේ ද? සැබවින් ම මා ඔබට කියන්නේ, ගලක් පිට ගලක් නො තිබෙන සේ, හැම එකක්ම බිඳ දමා පොළොවට සමතලා කර දමන කාලයක් පැමිණෙන බව යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="3">ඉන්පසු යේසුස්වහන්සේ ඔලීව කන්දේ හිඳ සිටියදී පෞද්ගලිකව උන්වහන්සේ වෙත ආ ගෝලයෝ, “එය සිදුවන්නේ කවරදා ද? ඔබගේ පැමිණීමේත්, මේ යුගයේ අවසානයේත් පෙර නිමිත්ත කුමක්දැයි අපට කියන්නැ” යි කීහ.</verse>
				<verse number="4">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “කිසිවකු ඔබ මුළා නො කරන ලෙසට වගබලා ගන්න.</verse>
				<verse number="5">මන්ද බොහෝ දෙනෙක් මාගේ නාමයෙන් අවුත්, ‘ක්‍රිස්තුස් මමයි!’ කියා ගනිමින් බොහෝ දෙනකු මුළා කරනු ඇත.</verse>
				<verse number="6">යුද්ධ හා, යුද්ධ ගැන ආරංචි ඔබට අසන්නට ලැබෙයි. ඒවායින් තැතිගැනීමෙන් වළකින්නට බලා ගන්න. මන්ද එය සිදු විය යුතුව තිබේ. එහෙත් අවසානය එය නො වේ.</verse>
				<verse number="7">ජාතියකට එරෙහිව ජාතියක් ද රාජ්‍යයකට එරෙහිව රාජ්‍යයක් ද නැගී සිටිනු ඇත. නොයෙක් තැන්හි සාගත ද භූමිකම්පා ද සිදුවනු ඇත.</verse>
				<verse number="8">මේ සියල්ල ප්‍රසව වේදනාවේ පටන්ගැන්ම ය.</verse>
				<verse number="9">“එකල ඔබට විපත් පීඩා පමුණුවන්නට හා ඔබ මරා දමන්නට ඔවුන් ඔබ අල්ලා දෙනු ඇත. මාගේ නාමය නිසා සියලු ජාතීන් ඔබට වෛර කරනු ඇත.</verse>
				<verse number="10">එකල බොහෝ දෙනකු ඇදහිල්ලෙන් වැටී, එකිනෙකා පාවා දෙනු ඇත; එකිනෙකාට වෛර කරනු ඇත.</verse>
				<verse number="11">බොරු දිවැසිවරුන් බොහෝ දෙනෙක් ද නැගිට, බොහෝ දෙනකු මුළා කරනු ඇත.</verse>
				<verse number="12">නො පණත්කම අධික වන බැවින් වැඩි දෙනාගේ ප්‍රේමය නිවී යනු ඇත.</verse>
				<verse number="13">එහෙත් අවසානය දක්වා නො සැලී ස්ථිරව සිටින්නා ගලවනු ලබන්නේ ය.</verse>
				<verse number="14">රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වශයෙන් ලොව මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබනු ඇත. ඉන්පසු අවසානය පැමිණේ.</verse>
				<verse number="15">“එබැවින්, දානියෙල් දිවැසිවරයා මඟින් පවසන ලද ‘බිහිසුණු පාළුව ගෙනෙන පිළිකුල’ ශුද්ධස්ථානයේ සිටගෙන සිටිනු ඔබ දකින කල, (කියවන්නා එය තේරුම් ගනීවා)</verse>
				<verse number="16">යුදයේ සිටින්නෝ කඳුවලට පලා යත්වා!</verse>
				<verse number="17">තම ගෙයි පියස්සේ සිටින්නා ගෙතුළ ඇති යමක් ගන්නා පිණිස පහළ නො බසිත්වා!</verse>
				<verse number="18">කෙතෙහි සිටින්නා, තම කබාය ගන්නට ආපසු නො ඒවා!</verse>
				<verse number="19">ගැබිණියනටත්, කිරිදෙන මවුන්ටත් ඒ දවස් අහෝ භයංකර ය.</verse>
				<verse number="20">ඔබේ පලා යෑම ශීත කාලයේ හෝ සබතක හෝ නො වන ලෙස යාච්ඤා කරන්න.</verse>
				<verse number="21">මන්ද ලොව ඇරඹුණු තැන් පටන් මෙතෙක් සිදු නො වූ, මතු කවර කලෙක සිදු නො වන මහා විපත්-පීඩාවක් වනු ඇත.</verse>
				<verse number="22">“ඒ කාලය කෙටි නො කරන ලද්දේ නම්, කිසි කෙනෙක් ඉතිරි නො වන්නේ ය. එහෙත් තෝරා ගත්තවුන් උදෙසා ඒ කාලය කෙටි කෙරේ.</verse>
				<verse number="23">එකල යමෙක් ඔබට කතා කර, ‘මෙන්න, ක්‍රිස්තුස්වහන්සේ මෙතැන ය; අන්න, උන්වහන්සේ අතැන ය’ කියා පැවසුවත් එය විශ්වාස නො කරන්න.</verse>
				<verse number="24">මන්ද හැකි වේ නම්, තෝරා ගත්තවුන් පවා මුළා කරන පිණිස, ව්‍යාජ ක්‍රිස්තුවරුන් හා ව්‍යාජ දිවැසිවරුන් නැගිට, මහත් ලකුණු හා හාස්කම් දක්වනු ඇත.</verse>
				<verse number="25">ඔන්න, කල්තියාම මම ඔබට කීවෙමි.</verse>
				<verse number="26">“එබැවින්, ඔවුන් ඔබට කතා කොට, ‘අන්න, එතුමන් පාළුකරයේ’ යි කීවොත්, පිටතට නො යන්න; ‘මෙන්න, එතුමන් ඇතුළු කුටියකැ’ යි කීවොත් එය විශ්වාස නො කරන්න.</verse>
				<verse number="27">මන්ද පෙරදිගින් නැගෙන විදුලිය, බටහිර දක්වා ඈතට දිදුලන්නේ යම් සේ ද, මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ පැමිණීමත් එසේම වන්නේ ය.</verse>
				<verse number="28">මළකුණක් ඇත්තේ කොතැනක ද ගිජු ලිහිණි රැස් වන්නේ එතැනට ය.</verse>
				<verse number="29">“එදවස්හි විපත් පීඩා නිම වූ කෙණෙහිම “ ‘හිරු අඳුරු වනු ඇත, සඳු එහි එළිය නො දෙනු ඇත; තරු අහසින් කඩා වැටෙනු ඇත, අහසේ බල වස්තූන් සොලවනු ලබනු ඇත.’</verse>
				<verse number="30">“එකල මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ සලකුණ අහසේ දක්නට ලැබෙනු ඇත. එවිට පොළොවෙහි සියලු ගෝත්‍ර හඬා වැලපෙනු ඇත. මනුෂ්‍ය පුත්‍රයාණන් බලයෙන් හා මහත් තේජසින් යුතුව අහසේ වලාකුළු මතින් පැමිණෙනු ඔවුන් දකිනු ඇත.</verse>
				<verse number="31">එවිට උන්වහන්සේ මහා හොරණෑ හඬක් සහිතව, ස්වකීය දූතයින් පිටත් කර එවන සේක. ඔවුන් අහසේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා පොළොවේ සතර දිගින්ම උන්වහන්සේගේ තෝරා ගත්තවුන් රැස් කරනු ඇත.</verse>
				<verse number="32">“අත්තික්කා ගසෙන් මේ පාඩම ඉගෙන ගන්න: එහි රිකිලි මෘදු වී, ඒවායේ කොළ ලියලන විට, ගිම්හාන කාලය ළඟා වී ඇති බැව් ඔබ දනිති.</verse>
				<verse number="33">එලෙසම, මේ දේවල් සිදුවනු දකින කල, උන්වහන්සේ අත ළඟ වග, දොරකඩ ළඟම බව දැනගන්න.</verse>
				<verse number="34">සැබවින් ම මා ඔබට කියන්නේ, මේ හැම දේ සිදුවන තුරු මේ පරම්පරාව පහව නො යන බවයි.</verse>
				<verse number="35">අහසත් පොළොවත් පහව යනු ඇත. එහෙත් මාගේ වචන පහව යන්නේ නැත.</verse>
				<verse number="36">“පියාණන්වහන්සේ පමණක් මිස, ඒ දවස හෝ ඒ පැය ගැන කිසිවකු දන්නේ නැත; ස්වර්ගයේ දේව දූතයින්වත්, පුත්‍රයාණන්වත් දන්නේ නැත.</verse>
				<verse number="37">මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ පැමිණීමේදී වන්නේ නෝවාගේ දවස්වලදී සිදු වූ ලෙසම ය.</verse>
				<verse number="38">මන්ද ජලගැල්මට කලින් නෝවා නැවට ඇතුළු වූ දවස දක්වා මිනිසුන් කමින් ද බොමින් ද ආවාහ කර ගනිමින් ද හා විවාහ වෙමින් සිටි ලෙස ය.</verse>
				<verse number="39">ජල ගැල්ම ගලා, ඔවුන් හැම ගසාගෙන යන තුරු කුමක් වීදැයි ඔවුහු නො දත්හ. මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ පැමිණීමේදී සිදුවන්නේ එයම ය.</verse>
				<verse number="40">මිනිසුන් දෙදෙනකු කෙතේ සිටිනු ඇත. ඉන් කෙනෙක් ගනු ලැබේ; අනෙකා හැර දමා යනු ලැබේ.</verse>
				<verse number="41">ස්ත්‍රීන් දෙදෙනකු ඇඹරුම් ගලක අඹරමින් සිටිනු ඇත. ඉන් කෙනෙක් ගනු ලැබේ; අනෙක් තැනැත්තිය හැර දමා යනු ලැබේ.</verse>
				<verse number="42">“එබැවින් විමසිල්ලෙන් සිටින්න. මන්ද ඔබගේ ස්වාමින්වහන්සේ කෙදිනක පැමිණේදෝයි ඔබ නො දන්නා බැවිනි.</verse>
				<verse number="43">එනමුත් මෙය වටහා ගන්න: සොරා එන්නේ රැයේ කවර පැයේදැයි ගෘහ මූලිකයා දැන සිටියේ නම්, විපරමින් සිට, තම ගේ බිඳීමට ඔහු ඉඩ තබන්නේ නැත.</verse>
				<verse number="44">එබැවින් ඔබත් සූදානමින් සිටිය යුතුයි. මන්ද එතැයි ඔබ නො සිතන පැයක දී මනුෂ්‍ය පුත්‍රයාණන් පැමිණෙනු ඇත.</verse>
				<verse number="45">“එසේ නම් තම ගෘහවාසී සේවකයින්ට නිසි වෙලාවට ආහාර දීමට, ස්වාමියා විසින් පත් කරනු ලබන විශ්වාසී, සිහි නුවණැති සේවකයා කවුරු ද?</verse>
				<verse number="46">ස්වාමියා ආපසු එන කල ඒ සේවකයා එසේ කරනවා දකින්නේ නම්, ඔහු භාග්‍යවත් ය.</verse>
				<verse number="47">සැබවින් ම මා ඔබට කියන්නේ, එතුමා තමන් සන්තක සියල්ලෙහි බාරකාරත්වයට ඔහු පත් කරනු ඇති බවයි.</verse>
				<verse number="48">එහෙත් ඒ නපුරු සේවකයා, ‘මාගේ ස්වාමියා එන්නට පමා වෙතැ’ යි කියා ගනිමින්</verse>
				<verse number="49">සෙසු සේවකයන්ට තලන්නටත්, බේබද්දන් සමඟ කන්නට-බොන්නටත් පටන් ගතහොත්,</verse>
				<verse number="50">ඔහු එතැයි ඔහු අපේක්ෂා නො කළ දවසක, ඔහු නො දන්නා පැයෙක ඔහුගේ ස්වාමියා පැමිණ,</verse>
				<verse number="51">ඒ සේවකයාට දරුණු ලෙස දඬුවම් කර, කැබලිවලට කපා, කුහකයින් සමඟ දමනු ඇත, එතැන වැලපීමත්, දත්මිටි කෑමත් වනු ඇත.</verse>
			</chapter>
			<chapter number="25">
				<verse number="1">“එකල ස්වර්ග රාජ්‍යය, තම පහන් රැගෙන, මනාලයා හමුවීමට පිටත්ව ගිය කන්‍යාවන් දස දෙනකුට සමාන ය.</verse>
				<verse number="2">ඔවුන්ගෙන් පස් දෙනෙක් නුවණ නැත්තියෝ ය; පස් දෙනෙක් නුවණ ඇත්තියෝ ය.</verse>
				<verse number="3">මන්ද නුවණ නැත්තියන් පහන් රැගෙන ගිය නමුදු, ඒ සඳහා තෙල් ගෙන ගියේ නැත.</verse>
				<verse number="4">එහෙත් නුවණ ඇත්තියෝ තම පහන් සමඟ බඳුන්හි ලූ තෙල් ද ගෙන ගියෝ ය.</verse>
				<verse number="5">මනාලයා පමා වූයෙන් ඔවුන් හැම නිදි බරව, නින්දට වැටුණහ.</verse>
				<verse number="6">“මැදියම් රැයේ මොර හඬදීමක් විය: ‘මෙන්න මනාලයා! ඔහු හමුවට එන්නැ!’ යි ඉන් කියැවිණි.</verse>
				<verse number="7">“එකල ඒ කන්‍යාවෝ සැවොම නැගුටුණෝ, තම තමන්ගේ පහන් තිර සකස් කළෝ ය.</verse>
				<verse number="8">එවිට නුවණ නැත්තියෝ, නුවණ ඇත්තියන් අමතමින්, ‘අපට ඔබෙන් තෙල් ඩිංගක් දෙන්න; අපේ පහන් නිවී යතැ’ යි කීවෝ ය.</verse>
				<verse number="9">“එහෙත්, නුවණ ඇත්තියෝ පිළිතුරු දෙමින්, ‘අපටත්, ඔබටත් සෑහෙන තරම් තෙල් මෙහි නැති බැවින්, තෙල් වෙළඳුන් වෙත ගොස්, ඔබම මිලදී ගන්නැ’ යි කීවෝ ය.</verse>
				<verse number="10">“එසේ ඔවුන් තෙල් මිලදී ගැනීමට යන අතරේ, මනාලයා පැමිණියේ ය. සූදානම්ව සිටි අය ඔහු සමඟ මංගල උත්සවයට ඇතුල් වූහ. දොරටුව ද වසන ලදී.</verse>
				<verse number="11">“ඉන්පසු අනෙක් කන්‍යාවෝ පැමිණ, ‘ස්වාමිනි, ස්වාමිනි, අපට දොර අරින්නැ’ යි කීහ.</verse>
				<verse number="12">“එහෙත් ඔහු පිළිතුරු දෙමින්, ‘සැබවින් ම මා ඔබට කියන්නේ මා ඔබ හඳුනන්නේ නැත කියා යැ’ යි කීවේ ය.</verse>
				<verse number="13">“එබැවින්, ඒ දවසවත්, ඒ පැයවත් ඔබ නො දන්න නිසා අවදිව සිටින්න.</verse>
				<verse number="14">“තවද එය, තම මෙහෙකරුවන් කැඳවා, ඔවුන්ට තම වස්තුව පවරා, චාරිකාවක යෙදුණු මිනිසකුට සමාන ය.</verse>
				<verse number="15">ඔහු කෙනකුට තලෙන්ත පහක් ද තවකකුට තලෙන්ත දෙකක් ද තවකකුට එක් තලෙන්තයක් ද යන වශයෙන් ඒ ඒ අයගේ හැකියාව අනුව බාර දුන්නේ ය. ඉන්පසු ඔහු පිටත්ව ගියේ ය.</verse>
				<verse number="16">තලෙන්ත පහ ලද තැනැත්තා සැණෙක පිටත්ව ගොස්, ඒවා යොදවා වෙළඳාම් කර, තවත් තලෙන්ත පහක් ඉපද වීය.</verse>
				<verse number="17">තලෙන්ත දෙක ලද තැනැත්තා ද එලෙස, වැඩිපුර තවත් තලෙන්ත දෙකක් ඉපද වීය.</verse>
				<verse number="18">එහෙත් එක් තලෙන්තය ලද තැනැත්තා පිටතට ගොස් පොළොවේ වළක් හාරා, තම හාම්පුතාගේ මුදල එහි සැඟ වීය.</verse>
				<verse number="19">“දිගු කලකට පසු පෙරළා පැමිණි ඒ සේවකයින්ගේ හාම්පුතා ඔවුන් සමඟ ගණන් බැලුවේ ය.</verse>
				<verse number="20">එවිට තලෙන්ත පහ ලද තැනැත්තා වැඩිපුර වූ තලෙන්ත පහ ද ඉදිරියට ගෙන අවුත්, ‘ස්වාමිනි, ඔබ තලෙන්ත පහක් මට බාර දුන්නා. මෙන්න, මා ඉන් වැඩිපුර පහක් ඉපදෙව්වා’ යි කීවේ ය.</verse>
				<verse number="21">“ඔහුගේ හාම්පුතා කතා කරමින්, ‘අගෙයි යහපත්, විශ්වාසවත් දාසය, සුළු දේ ගැන ඔබ විශ්වාසී වූ නිසා, බොහෝ දේවල බාරකාරත්වයට මම ඔබ පත් කරමි. එන්න; ඇවිත් ඔබගේ හාම්පුතාගේ ප්‍රීතියට පංගුකරුවකු වන්නැ!’ යි කී ය.</verse>
				<verse number="22">“තලෙන්ත දෙක ලද තැනැත්තා ද ඉදිරියට අවුත්, ‘ස්වාමිනි, ඔබ තලෙන්ත දෙකක් මට බාර දුන්නා. මෙන්න, මා වැඩිපුර තවත් දෙකක් ඉපදෙව්වා’ යි කී ය.</verse>
				<verse number="23">“ඔහුගේ හාම්පුතා ඔහු අමතමින්, ‘අගෙයි යහපත්, විශ්වාසවත් දාසය, සුළු දේ ගැන ඔබ විශ්වාසී වූ නිසා, බොහෝ දේවල බාරකාරත්වයට මම ඔබ පත් කරමි. එන්න; ඇවිත් ඔබගේ හාම්පුතාගේ ප්‍රීතියට පංගුකරුවකු වන්නැ!’ යි කී ය.</verse>
				<verse number="24">“ඉන්පසු, එක් තලෙන්තය ලද තැනැත්තා ඉදිරියට අවුත්, ‘ස්වාමිනි ඔබ, නො වපුළ දේ කපා ගන්නා වූ, නො විසිරු බීජ රැස්කරන්නාවූ තද ගති ඇති කෙනකු බැව් මා දැන සිටියා.</verse>
				<verse number="25">එබැවින් මා බයින් ගොස්, ඔබගේ තලෙන්තය පොළොවේ වළලා තැබුවා. මෙන්න, ඔබට අයිති දේ’ යි කී ය.</verse>
				<verse number="26">“ඔහුගේ හාම්පුතා පිළිතුරු දෙමින්, ‘දුෂ්ට, අලස දාසය! මා නො වපුළ දේ කපා ගන්නා, නො විසිරු බීජ රැස්කරනා කෙනකු වග ඔබ දැන සිටියා ද?</verse>
				<verse number="27">එසේ නම් ඔබ කළ යුතුව තිබුණේ, මගේ මුදල් බැංකුකරුවන් වෙත ආයෝජන කිරීමයි. එසේ කළා නම්, මා ආපසු ආ කල, පොලියත් සමඟ මට හිමි දේ ආපසු ගත හැකිව තිබුණා.</verse>
				<verse number="28">“ ‘තලෙන්තය මොහුගෙන් ගෙන, තලෙන්ත දහය ඇත්තාට දෙන්න.</verse>
				<verse number="29">මන්ද ඇති හැම කෙනකුට වඩ වඩා දෙනු ලැබේ. ඔහුට අධිකව ලැබේ. නැති තැනැත්තාගෙන් ඔහුට ඇති දේත් ගනු ලැබේ.</verse>
				<verse number="30">කිසි කමකට නැති මේ දාසයා පිටත අන්ධකාරයට හෙළනු; එතැන වැලපීමත්, දත්මිටි කෑමත් වන්නේ යැ’ යි කීවේ ය.</verse>
				<verse number="31">“මනුෂ්‍ය පුත්‍රයාණන් ස්වකීය තේජසින් යුතුව, සියලු දේව දූතයින් ද සමඟ එන කල, උන්වහන්සේ ස්වකීය තේජාන්විත සිංහාසනයේ අසුන් ගන්නා සේක.</verse>
				<verse number="32">එකල සියලු ජාතීහු උන්වහන්සේ ඉදිරියට රැස් කරනු ලබති. එවිට එඬේරකු, එළුවන් වෙතින් බැටළුවන් වෙන් කරන්නා සේ, උන්වහන්සේ ජනයා, කෙනකුගෙන් කෙනකු වෙන් කරනු ඇත.</verse>
				<verse number="33">උන්වහන්සේ බැටළුවන් තම දකුණු පසෙහි ද එළුවන් තම වම් පසෙහි ද තබන සේක.</verse>
				<verse number="34">“එවිට රජ්ජුරුවෝ තමන් දකුණු පස සිටින්නන් අමතමින්, ‘එන්න, මගේ පියාණන්වහන්සේගෙන් ආශිර්වාද ලද්දනි, ලොව අත්තිවාරම් ලූ තැන් පටන් ඔබ සඳහා සූදානම් කරන ලද රාජ්‍යය උරුම කරගන්න.</verse>
				<verse number="35">මන්ද මා සාගිනිව සිටියා; ඔබ මට ආහාර දුන්නා. මා පිපාසිතව සිටියා; ඔබ මට බොන්නට දුන්නා. මා ආගන්තුකව සිටියා; ඔබ නිවසට මා පිළිගත්තා.</verse>
				<verse number="36">මා නිර්වස්ත්‍රව සිටියා; ඔබ මට ඇඳුම් ඇඳවූවා. මා රෝගීව සිටියා; ඔබ මට සැලකුවා. මා සිරගතව සිටියා. ඔබ මා බලන්නට ආවා’ යි කියනු ඇත.</verse>
				<verse number="37">“එවිට ධර්මිෂ්ඨයෝ උන්වහන්සේට පිළිතුරු දෙමින්, ‘ස්වාමිනි, ඔබ සාගිනිව සිටිනු දැක අප ඔබට ආහාර දුන්නේ කවරදා ද? ඔබ පිපාසිතව සිටිනු දැක ඔබට බොන්නට දුන්නේ කවරදා ද?</verse>
				<verse number="38">ඔබ ආගන්තුකව සිටිනු දැක, ඔබ පිළිගත්තේ කවරදා ද? නිර්වස්ත්‍රව සිටිනු දැක, ඔබට ඇඳුම් හැඳවූයේ කවරදා ද?</verse>
				<verse number="39">ඔබ රෝගීව හෝ සිරගතව හෝ සිටිනු දැක අප ඔබ බලන්න ආවේ කවරදා දැ?’ යි අසනු ඇත.</verse>
				<verse number="40">“එවිට රජ්ජුරුවෝ පිළිතුරු දෙමින්, ‘සැබවින් ම මා ඔබට කියන්නේ, මාගේ මේ සහෝදරයින්ගෙන් කුඩාම කෙනකුට හෝ ඔබ කළ යම් දෙයක් වේ ද, ඔබ එය කළේ මට යැ’ යි පවසනු ඇත.</verse>
				<verse number="41">“ඉන්පසු උන්වහන්සේ තමන් වම් පස සිටින්නවුන් අමතමින්, ‘මා වෙතින් ඉවත්ව යනු, ශාප ලද්දෙනි, යක්ෂයාටත් උගේ දූතයින්ටත් පිළියෙලව ඇති සදාතන ගින්නට යනු.</verse>
				<verse number="42">මන්ද මා සාගිනිව සිටියා; ඔබ මට ආහාර දුන්නේ නෑ. මා පිපාසිතව සිටියා; ඔබ මට බොන්නට දුන්නේ නෑ.</verse>
				<verse number="43">මා ආගන්තුකව සිටියා; ඔබ මා පිළිගත්තේ නෑ. මා නිර්වස්ත්‍රව සිටියා; ඔබ මට ඇඳුම් ඇන්ඳුවේ නෑ. මා රෝගීව සිටියා; සිරගතව සිටියා; ඔබ මා බලන්නට ආවේ නෑ’ යි කියනු ඇත.</verse>
				<verse number="44">“ඔවුහු ද පිළිතුරු දෙමින්, ‘ස්වාමිනි, ඔබ සාගිනිව හෝ පිපාසිතව හෝ ආගන්තුකව හෝ නිර්වස්ත්‍රව හෝ රෝගීව හෝ සිරගතව හෝ සිටිනු දැක, අප ඔබට උපස්ථාන නො කළේ කවරදා දැ?’ යි අසනු ඇත.</verse>
				<verse number="45">“එවිට උන්වහන්සේ පිළිතුරු දෙමින්, ‘සැබවින් ම මා ඔබට කියන්නේ, මොවුන්ගෙන් කුඩාම කෙනකුට ඔබ යමක් නො කළේ වේ ද, ඔබ එය නො කළේ මට යැ’ යි පවසනු ඇත.</verse>
				<verse number="46">“මෙසේ ඔවුහු සදාතන දඬුවමට යති. එහෙත්, ධර්මිෂ්ඨයෝ සදාතන ජීවනයට යන්නෝ යැ” යි පැවසූ සේක.</verse>
			</chapter>
			<chapter number="26">
				<verse number="1">යේසුස්වහන්සේ මේ සියල්ල කියා නිම කළ පසු, තම ගෝලයින් අමතමින්,</verse>
				<verse number="2">“තව දවස් දෙකකින් පාස්කු උළෙල එන වග ඔබ දනී. මනුෂ්‍ය පුත්‍රයාණන් ද කුරුසිපත් කරනු ලබන්නට පාවා දෙනු ලබන්නේ යැ” යි කී සේක.</verse>
				<verse number="3">එකල නායක පූජකයෝ හා ජනයාගේ වැඩිහිටියෝ කායාපස් නම් වූ උත්තම පූජකයාගේ මන්දිරයට රැස් වූවෝ,</verse>
				<verse number="4">රහසේම යේසුස්වහන්සේ අත්අඩංගුවට ගෙන, මරා දමන්නේ කෙසේදැයි කුමන්ත්‍රණ කළෝ ය.</verse>
				<verse number="5">නමුත්, “උළෙල දවස්වල නො වෙයි; නැතහොත් ජනයා කැලඹෙන්නට පුළුවනි” යි කීහ.</verse>
				<verse number="6">යේසුස්වහන්සේ බෙතානි ගම්මානයේ කුෂ්ඨ රෝගියා වූ සීමොන්ගේ නිවසේ සිටියදී,</verse>
				<verse number="7">කිරිගරුඬ බඳුනක ඉතා මිල අධික සුවඳ විලවුන් රැගෙන ආ එක් ස්ත්‍රියක්, උන්වහන්සේ මේසයට හිඳ සිටියදී, ඒ සුවඳ විලවුන් උන්වහන්සේගේ හිසේ වත් කළා ය.</verse>
				<verse number="8">ඒ දුටු ගෝලයෝ කුපිතව, “මේ මොන නාස්තියක් ද?</verse>
				<verse number="9">මේ සුවඳ විලවුන් වැඩි මිලකට විකුණා ඒ මුදල් දුප්පතුන්ට බෙදා දෙන්න තිබුණා” යි කීවෝ ය.</verse>
				<verse number="10">යේසුස්වහන්සේ ඒ බව දැන, ඔවුන් අමතමින්, “මේ ස්ත්‍රියට කරදර කරන්නේ ඇයි? ඇය මට කර තිබෙන්නේ මනහර දෙයක්.</verse>
				<verse number="11">මන්ද දිළිඳුන් හැමදා ඔබ අතරේ සිටිනවා. එහෙත් මා හැමදා ඔබ සමඟ සිටින්නේ නැහැ.</verse>
				<verse number="12">මෙම විලවුන් මා සිරුරේ වත් කිරීමෙන් ඇය කළේ, භූමදානයට මා සූදානම් කිරීමයි.</verse>
				<verse number="13">සැබවින් ම මා ඔබට කියන්නේ, ලොව මුළුල්ලේ මේ ශුභාරංචිය ප්‍රකාශ කරන කොතැනක වුව ද, මැය සිහිපත් කරමින්, ඇය කළ කළ දෑ ගැන ද කියනු ලබනු ඇතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="14">එකල දොළොස් දෙනාගෙන් කෙනකු වූ යූදස් ඉස්කාරියොත් නැමැත්තා නායක පූජකවරුන් වෙත ගොස්,</verse>
				<verse number="15">“මා, ඔබට එතුමන් පාවා දුන්නොත් ඔබ මට දෙන්නේ මොනවා දැ?” යි ඔවුන්ගෙන් ඇසී ය. ඔවුහු රිදී කාසි තිහක් කිරා ඔහුට දුන්හ.</verse>
				<verse number="16">එවෙලේ පටන් ඔහු උන්වහන්සේ පාවා දීමට සුදුසු අවස්ථාවක් ගැන සෙවිල්ලෙන් සිටියේ ය.</verse>
				<verse number="17">නුමුහුන් රොටි උළෙලේ පළමු දවසේ යේසුස්වහන්සේ වෙත ආ උන්වහන්සේගේ ගෝලයෝ, “ඔබට පාස්කුව වැළඳීමට අප පිළියෙල කළ යුත්තේ කොතැනක දැ?” යි ඇසූහ.</verse>
				<verse number="18">උන්වහන්සේ පිළිතුරු දෙමින්, “නගරයට ඇතුල්ව, අසවලා වෙත ගොස්, ‘මගේ වේලාව ළඟයි; මාගේ ගෝලයින් සමඟ මා පාස්කුව පවත්වන්නේ ඔබේ නිවසේදී ය’ කියා ගුරුතුමා කියනවායි ඔහුට කියන්නැ” යි පැවසූ සේක.</verse>
				<verse number="19">ගෝලයෝ යේසුස්වහන්සේ දුන් උපදෙස් ලෙස පාස්කුව එහි පිළියෙල කළෝ ය.</verse>
				<verse number="20">සවස් වූ කල උන්වහන්සේ දොළොස් දෙනා සමඟ මේසයට හිඳගත් සේක.</verse>
				<verse number="21">එසේ ආහාර ගනිමින් සිටියදී ඔවුන් ඇමතූ උන්වහන්සේ, “සැබවින් ම මා ඔබට කියන්නේ, ඔබගෙන් කෙනෙක් මා පාවා දෙන්නේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="22">ඉන් මහත් සොවට පත් ගෝලයෝ, “ඒ මම ද ස්වාමිනි?” යි එකකුට පසුව එකකු බැගින් අසන්නට වූහ.</verse>
				<verse number="23">උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මා සමඟ එක පතේ අත ලූ තැනැත්තාම මා පාවා දෙනු ඇත.</verse>
				<verse number="24">උන්වහන්සේ ගැන ලියවී ඇති පරිදි මනුෂ්‍ය පුත්‍රයා යනු ඇත. එහෙත් මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙන මිනිසාට වන විපතක මහත! ඒ මිනිසා නූපන්නා නම් ඔහුට වඩා හොඳ යැ” යි කී සේක.</verse>
				<verse number="25">එවිට උන්වහන්සේ පාවා දෙන්නා වූ යූදස්, “ඒ මම ද රබ්බී?” යි ඇසී ය. “ඔබම කීවා” යි යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දුන් සේක.</verse>
				<verse number="26">ඔවුන් අහර ගනිමින් සිටියදී, යේසුස්වහන්සේ රොටි ගෙන, ආශිර්වාදය පවසා, එය කඩා, ගෝලයන්ට දෙමින්, “ගන්න, ගෙන කන්න; මෙය මාගේ ශරීරය යැ” යි කී සේක.</verse>
				<verse number="27">ඉන්පසු උන්වහන්සේ කුසලානක් ගෙන, ස්තුති පුදා, ඔවුන්ට දෙමින්, “ඔබ හැම මෙයින් ගෙන බොන්න;</verse>
				<verse number="28">මන්ද මෙය බොහෝ දෙනකු උදෙසා, පාප කමාව සඳහා වගුරුවන ලබන ගිවිසුමේ මාගේ ලෙයයි.</verse>
				<verse number="29">මාගේ පියාණන්වහන්සේගේ රාජ්‍යයේදී ඔබ සමඟ අලුතින් පානය කරන දවස දක්වා මෙතැන් පටන් මම මේ මිදි වැලේ පලයෙන් පානය නො කරන බැව් ඔබට කියමි” යි පැවසූ සේක.</verse>
				<verse number="30">ගීතිකාවක් ගැයීමෙන් පසු, ඔවුහු ඔලීව කන්ද වෙත ගියහ.</verse>
				<verse number="31">ඉන්පසු ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “මා නිසා ඔබ හැම මේ රැයේම මා අතහැර යනු ඇත. මන්ද, “ ‘මම එඬේරාට පහර දෙන්නෙමි; රැළේ බැටළුවෝ එවිට විසිරවනු ලබති’ යි ලියා ඇත.</verse>
				<verse number="32">“එහෙත් යළි මා නැගිටුවනු ලැබූ පසු, ඔබට කලින් මම ගලීලයට යන්නෙමි” යි පැවසූ සේක.</verse>
				<verse number="33">එවිට පේතෘස් කතා කරමින්, “ඔබ නිසා හැමදෙනා ඔබ හැරදා ගියත්, මම කිසි කලෙක හැර නො යමි” යි කී ය.</verse>
				<verse number="34">යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්. “සැබවින් ම මා ඔබට කියන්නේ, අද මේ රැයේ, කුකුළා හඬලන්නට පළමු මා හඳුනන්නේ නැතැයි ඔබ තුන් වතාවක්ම කියනු ඇතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="35">“ඔබ සමඟ මට මියෙන්නට සිදු වෙතත්, කිසි කලෙක මා ඔබ ප්‍රතික්ෂේප කරන්නේ නැතැ” යි පේතෘස්, ප්‍රකාශ කළේ ය. සෙසු ගෝලයෝ සැවොම ඒ දේම කීහ.</verse>
				<verse number="36">ඉන්පසු තම ගෝලයින් සමඟ ගෙත්සෙමන නම් ස්ථානයට පැමිණි යේසුස්වහන්සේ, “මා අතැනට ගොස්, යාච්ඤා කරන තුරු, මෙහි හිඳ සිටින්නැ” යි ඔවුනට කී සේක.</verse>
				<verse number="37">උන්වහන්සේ පේතෘස් හා සෙබදීගේ පුතුන් දෙදෙනා කැටිව ගොස්, ශෝක වන්නටත්, සංවේගී වන්නටත් විය.</verse>
				<verse number="38">එකල උන්වහන්සේ ඔවුන් අමතමින්, “මැරෙන තරමට මගේ ජීවය ශෝකයෙන් මිරිකෙයි. මා සමඟ මෙහි අවදියෙන් ඉන්නැ” යි පැවසූ සේක.</verse>
				<verse number="39">ඉන්පසු එයින් මදක් ඔබ්බට ගිය උන්වහන්සේ බිම වැටී, මුහුණ බිම ඔබා, යාච්ඤා කරමින්, “මාගේ පියාණෙනි, කළ හැකි නම් මේ කුසලාන මා වෙතින් ඉවත් කළ මැනව. එහෙත්, මාගේ කැමැත්ත ලෙස නො ව, ඔබගේ කැමැත්ත ලෙස වේවා!” යි කී සේක.</verse>
				<verse number="40">ඉන්පසු ගෝලයින් වෙත පැමිණි කල, ඔවුන් නිදා සිටිනු දුටු උන්වහන්සේ පේතෘස් අමතමින්, “මා සමඟ එක පැයක් අවදියෙන් ඉන්න ඔබට බැරි වුණා ද?</verse>
				<verse number="41">පරීක්ෂාවට නො වැටෙන පිණිස, අවදිව සිටිමින් යාච්ඤා කරන්න. ආත්මය කැමතියි. එහෙත් මාංසය දුර්වල යැ” යි කී සේක.</verse>
				<verse number="42">දෙවන වරටත් ඔවුන් වෙතින් මෑත් වූ යේසුස්වහන්සේ, “මාගේ පියාණෙනි, මා පානය කරනු ලැබීමෙන් තොරව මේ කුසලාන ඉවත් කළ නො හැකි නම්, ඔබගේ කැමැත්තම වේවා!” යි යාච්ඤා කළ සේක.</verse>
				<verse number="43">යළි ගෝලයින් වෙත ආ උන්වහන්සේ ඔවුන් යළි නිදා සිටිනු දුටු සේක. මන්ද ඔවුන්ගේ ඇස් නිදි බරව තිබිණි.</verse>
				<verse number="44">ඔවුන් වෙතින් යළිත් මෑතට ගිය උන්වහන්සේ, තුන් වන වරටත් යාච්ඤා කරමින්, එම වචන ම පැවසූ සේක.</verse>
				<verse number="45">ඉන්පසු යළිත් ගෝලයින් වෙත ආ උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ තවමත් නිදාගෙන විවේක ගන්නවා ද? මෙන්න, පැය ළං වෙලා; මනුෂ්‍ය පුත්‍රයාණන් පව්කරුවන්ගේ අත්වලට පාවා දෙනු ලබයි.</verse>
				<verse number="46">නැගිටින්න; අපි යමු. මෙන්න, මා පාවා දෙන්නා එන්නේ යැ!” යි පැවසූ සේක.</verse>
				<verse number="47">උන්වහන්සේ කතා කරද්දීම, දොළොස් දෙනාගෙන් කෙනකු වූ යූදස් එහි ළඟා වූයේ, නායක පූජකයින් හා ජනයාගේ වැඩිහිටියන් විසින් එවනු ලැබූ, කඩු මුගුරු රැගත් මහා පිරිසක් ද සමඟ ය.</verse>
				<verse number="48">පාවා දෙන්නා කණ්ඩායමට ලකුණක් දෙමින්, “මම යමකු සිඹිම් ද තැනැත්තා ඔහුයි; ඔහු අල්ලා ගන්නැ” යි සූදානම් කොට තිබිණි.</verse>
				<verse number="49">ඔහු කෙළින්ම යේසුස්වහන්සේ වෙත ගොස්, “සෙත් වේවා රබ්බී!” යි කියා උන්වහන්සේ සිප ගත්තේ ය.</verse>
				<verse number="50">“මිත්‍රය, ඔබ කරන්නට ආ දේ කරන්නැ” යි යේසුස්වහන්සේ ඔහුට පැවසූ සේක. පැමිණි පිරිස එවිට ඉදිරියට අවුත්, යේසුස්වහන්සේ පිට අත් හෙළා, උන්වහන්සේ අත්අඩංගුවට ගත්හ.</verse>
				<verse number="51">එවිට මෙන්න, යේසුස්වහන්සේ සමඟ සිටි කෙනෙක් අත දිගු කොට, තම කඩුව ඇද, උත්තම පූජකයාගේ දාසයාගේ කන කැපෙන්නට කඩු පහරක් ගැසී ය.</verse>
				<verse number="52">යේසුස්වහන්සේ, එවිට ඔහු අමතමින්, “ඔබේ කඩුව යළි කොපුවේ දමා ගන්න. මන්ද කඩුගත් සියල්ලෝ කඩුවෙන්ම නසිති.</verse>
				<verse number="53">මාගේ පියාණන්වහන්සේගෙන් ආධාර ඉල්ලන්නට මට බැරියැයි ඔබ සිතනවා ද? එවිට මේ දැන් මා වෙත දේව දූත සේනාංක දොළහක් උන්වහන්සේ නො එවාවි ද?</verse>
				<verse number="54">එසේ කළහොත් විය යුතු යයි කියැවෙන ශුද්ධ ලියවිලි පාඨ ඉටු වන්නේ කෙසේ දැ?” යි පැවසූ සේක.</verse>
				<verse number="55">ඒ පැයේදී යේසුස්වහන්සේ පිරිස් අමතමින්, “මංකොල්ලකරුවකුට එරෙහිව මෙන් කඩු මුගුරු ගෙන නුඹලා මා අල්ලන්නට ආවා ද? දවස්පතා මම දේව මාලිගයේ හිඳ ඉගැන්වූයෙමි. එහෙත් නුඹලා මා අල්ලා ගත්තේ නැත.</verse>
				<verse number="56">සැබවින් ම මේ හැම එකක්ම සිදු වූයේ දිවැසිවරුන්ගේ ලියවිලි ඉටු වන පිණිස යැ” යි කී සේක. එවිට උන්වහන්සේගේ ගෝලයෝ හැම උන්වහන්සේ අත්හැර පලා ගියහ.</verse>
				<verse number="57">ඉන්පසු, යේසුස්වහන්සේ අල්ලාගත් අය, උත්තම පූජක කායාපස් වෙත උන්වහන්සේ ගෙන ගියහ. දහම් පඬිවරුන් හා ජනයාගේ වැඩිහිටියෝ එහි රැස් වී සිටියහ.</verse>
				<verse number="58">උත්තම පූජක මැදුරේ මිදුල තෙක් මදක් දුරින්, යේසුස්වහන්සේ පසුපසින් ගිය පේතෘස් ඉන්පසු එහි ඇතුළුව, කුමක් වේ දෝයි බලනු පිණිස, මුර සේවකයන් හා හිඳ ගත්තේ ය.</verse>
				<verse number="59">නායක පූජකවරු හා මුළු මන්ත්‍රණ සභාව යේසුස්වහන්සේ මරණයට පමුණුවන පිණිස, උන්වහන්සේට විරුද්ධව බොරු සාක්ෂි සොයන්නට වූහ.</verse>
				<verse number="60">බොරු සාක්ෂිකරුවන් බොහෝ දෙනෙක් ඉදිරිපත් වුව ද, ඔවුන්ට කිසිවක් සොයාගත නො හැකි විය. අන්තිමේදී දෙදෙනෙක් ඉදිරිපත් වී,</verse>
				<verse number="61">“ ‘දෙවියන්වහන්සේගේ දේව මාලිගය කඩා දමා, තුන් දවසකින් එය යළි ගොඩ නගන්න මට පුළුවන් ය’ කියා මොහු කීවා” යි ප්‍රකාශ කළහ.</verse>
				<verse number="62">එවිට උත්තම පූජකයා නැගිට, “ඔබට දෙන්නට උත්තර නැති ද? මේ මිනිසුන් ඔබට විරුද්ධව ගෙනෙන මේ සාක්ෂිය කුමක් දැ?” යි ඇසී ය.</verse>
				<verse number="63">එහෙත් යේසුස්වහන්සේ නිහඬව සිටි සේක. එවිට උත්තම පූජකයා උන්වහන්සේ අමතමින්, “දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වූ ක්‍රිස්තුස්වහන්සේ ඔබ නම්, ඒ වග අපට කියන ලෙස, ජීවමාන දෙවියන්වහන්සේගේ නාමයෙන් දිවුරා ඔබට අණ කරමි” යි පැවසී ය.</verse>
				<verse number="64">යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ඔබම කීවෙහි ය. එහෙත් මා ඔබට කියන්නේ, මනුෂ්‍ය පුත්‍රයාණන් පරාක්‍රමයාණන්වහන්සේගේ දකුණු පස අසුන් ගෙන සිටිනු ද අහසේ වලාකුළු මතින් පැමිණෙනු ද මෙතැන් පටන් ඔබ දකිනු ඇත කියා යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="65">එවිට තම හැඳිවත් ඉරා ගත් උත්තම පූජකයා, “ඔහු කීවේ දේවාපහාස! තවත් සාක්ෂිකරුවන් අපට කුමට ද? මේ දැන් ඔහුගේ දේවාපහාසය ඔබට ඇහුණා;</verse>
				<verse number="66">ඔබේ තීරණය කුමක් දැ?” යි පැවසී ය. “ඔහු සුදුසු මරණයට යැ” යි ඔවුහු පිළිතුරු දුන්හ.</verse>
				<verse number="67">එවිට ඔවුහු, උන්වහන්සේගේ මුහුණට කෙළ ගැසූහ; මිට මොළවා පහර දුන්හ. සෙසු අය උන්වහන්සේට අත්මිටින් පහර දෙමින්,</verse>
				<verse number="68">“ඔබට ගැහුවේ කවුරු ද කියා දිවැසින් අපට කිව මැනව ක්‍රිස්තුනි” යි කීහ.</verse>
				<verse number="69">මේ අතර පේතෘස් පිටත මිදුලේ හිඳගෙන සිටියේ ය. සේවිකාවක් ඔහු වෙත අවුත්, “ගලීල යේසුස් සමඟ ඔබත් සිටියා” යි කීවා ය.</verse>
				<verse number="70">එහෙත් ඒ සියල්ලන් ඉදිරියේ එය ප්‍රතික්ෂේප කළ ඔහු, “ඔබ මොනවා කියනවාදැයි මා දන්නේ නැතැ” යි කීවේ ය.</verse>
				<verse number="71">ඉන්පසු ඔහු පිටත දොරකඩ වෙත ගියේ ය. එහිදී වෙනත් සේවිකාවක් ඔහු දැක, “මේ මිනිහා අර නාසරෙත්හි යේසුස් සමඟ සිටියා” යි එහි සිටියවුනට කීවා ය.</verse>
				<verse number="72">යළිත් ඔහු එය ප්‍රතික්ෂේප කරමින්, “මා ඒ මිනිසා හඳුනන්නේ නැතැ!” යි දිවුරා කීවේ ය.</verse>
				<verse number="73">මද වේලාවකට පසු ඔහු අසල සිටි අය ඔහු ළඟට අවුත්, “ඇත්තෙන්ම ඔබ ඔවුන්ගෙන් කෙනෙක් තමයි. ඔබගේ උච්චාරණය ඔබ පාවා දේ යැ” යි කීහ.</verse>
				<verse number="74">එවිට ඔහු තමාටම ශාප කර ගන්නටත්, “මා ඒ මිනිසා හඳුනන්නේ නෑ!” යි කියමින් දිවුරන්නටත් වන්නේ ය. එකෙණෙහිම කුකුළා හැඬලී ය.</verse>
				<verse number="75">එවිට, “කුකුළා හඬලන්නට පෙර ඔබ, මා හඳුනන්නේ නැතැයි තුන් වරක්ම කියනු ඇතැ” යි යේසුස්වහන්සේ පැවසූ වචන පේතෘස් සිහි කොට, එතැනින් පිටව ගොස්, දැඩි සංවේගයෙන් හැඬී ය.</verse>
			</chapter>
			<chapter number="27">
				<verse number="1">උදයේ සියලු නායක පූජකවරු හා ජනතා වැඩිහිටියෝ යේසුස්වහන්සේ මරණයට පත් කරන්නට උන්වහන්සේට එරෙහිව කතිකා කළහ.</verse>
				<verse number="2">ඔවුහු උන්වහන්සේ යදමින් බැඳ, පිටත ගෙන ගොස්, ආණ්ඩුකාර පිලාත්ට බාර දුන්හ.</verse>
				<verse number="3">යේසුස්වහන්සේ පාවා දුන් යූදස්, උන්වහන්සේ මරණයට තීන්දු වූ වග දැක, කනස්සලු වී, රිදී කාසි තිහ ගෙන නායක පූජකයින් හා වැඩිහිටියන් වෙත ගොස්,</verse>
				<verse number="4">“නිර්දෝෂ ලේ පාවා දීමෙන් මා පව් කළා” යි කීවේ ය. “ඉතින් අපට මොකද? ඒක උඹ ම බලාගනින්” යැයි ඔවුහු කීහ.</verse>
				<verse number="5">දේව මාලිගය තුළට රිදී කාසි වීසි කළ ඔහු එතැනින් ඉවත්ව ගොස් එල්ලී මළේ ය.</verse>
				<verse number="6">එහෙත් නායක පූජකවරු එම රිදී කාසි අහුලා, “දේව මාලිග භාණ්ඩාගාරයේ මේවා දැමීම යුතු නැත. මන්ද මේවා ලේ-මුදල් යැ” යි කීහ.</verse>
				<verse number="7">එබැවින්, ඔවුහු සාකච්ඡා කර, එම මුදලින් අමුත්තන් සඳහා සොහොන් පිටියක් වශයෙන් කුඹල්කරුගේ කෙත මිලට ගත්හ.</verse>
				<verse number="8">එබැවින් එම කෙත අද දවස දක්වාත් ලේ පිටිය නමින් හැඳින් වේ.</verse>
				<verse number="9">මෙසේ, දිවැසිවර යෙරමියා විසින් ප්‍රකාශිත, “ඉශ්‍රායෙල් ජනයා විසින් උන්වහන්සේට නියම කරන ලද මිලය වන රිදී කාසි තිහ ගත් ඔවුහු,</verse>
				<verse number="10">ස්වාමින්වහන්සේ මට අණ කළ පරිදි, කුඹල්කරුගේ කෙත මිලට ගැනීමට ඒ මුදල යෙදවූහ” යන්න සම්පූර්ණ විය.</verse>
				<verse number="11">මේ අතර යේසුස්වහන්සේ, ආණ්ඩුකරු ඉදිරියේ සිට ගත්තේ ය. ආණ්ඩුකරු, “ඔබ යුදෙව්වන්ගේ රජ දැ?” යි උන්වහන්සේගෙන් ඇසුවේ ය. “ඔබම එසේ කියන්නෙහි යැ” යි යේසුස්වහන්සේ පැවසූ සේක.</verse>
				<verse number="12">එහෙත් නායක පූජකයින් හා වැඩිහිටියන් උන්වහන්සේට චෝදනා කළ විට, උන්වහන්සේ කිසි පිළිතුරක් නො දුන් සේක.</verse>
				<verse number="13">එවිට පිලාත්, “ඔබට ඇහෙන්නේ නැද්ද මොන තරම් දෑ ගැන මොවුන් ඔබට එරෙහිව සාක්ෂි දෙනවා ද කියා?” යි උන්වහන්සේගෙන් ඇසී ය.</verse>
				<verse number="14">එහෙත් යේසුස්වහන්සේ ඒ එක චෝදනාවකට හෝ කිසි පිළිතුරක් නුදුන් සේක; එවිට ආණ්ඩුකරු මහත් විස්මයට පත් විය.</verse>
				<verse number="15">ජනයා ඉල්ලන කවුරුන් හෝ එක් සිරකරුවකු, මංගල්‍යය නිමිත්තෙන් ආණ්ඩුකරු නිදහස් කරදෙන සිරිතක් විය.</verse>
				<verse number="16">බරබ්බස් නම් වූ ප්‍රසිද්ධ සිරකරුවෙක් එකල ඔවුන්ට සිටියේ ය.</verse>
				<verse number="17">එබැවින්, ජනයා එක්රොක් වූ කල පිලාත්, ඔවුන් අමතමින්, “මා ඔබට කවරකු නිදහස් කර දෙනවාට ඔබ කැමති ද? බරබ්බස් ද? නැතිනම් ක්‍රිස්තුස් ය කියන යේසුස් දැ?” යි ඇසී ය.</verse>
				<verse number="18">මන්ද ඔවුන් තමා අතට උන්වහන්සේ පාවා දුන්නේ ඊර්ෂ්‍යාව නිසා බැව් ඔහු දැන සිටියේ ය.</verse>
				<verse number="19">පිලාත් විනිශ්චය ආසනයේ හිඳ සිටියදී, ඔහුගේ භාර්යාව ඔහුට පණිවුඩයක් එවමින්, “ඒ ධර්මිෂ්ඨ මිනිසාට කිසිවක් නො කරන්න. මා අද සිහිනෙන් ඔහු ගැන බොහෝ සේ වේදනා වින්දා” යි දැන්වූවා ය.</verse>
				<verse number="20">ඒ අතර නායක පූජකයෝ හා වැඩිහිටියෝ, බරබ්බස් නිදහස් කරන ලෙසත්, යේසුස්වහන්සේ මරා දමන ලෙසත් ඉල්ලන්නට සමූහයා කැමති කරවා ගත්හ.</verse>
				<verse number="21">ආණ්ඩුකාරයා යළි ඔවුන් අමතමින්, “මේ දෙදෙනාගෙන් කවුරු මා ඔබට නිදහස් කර දෙනවාට ඔබ කැමති දැ?” යි ඇසී ය. “බරබ්බස්” යයි ඔවුහු කීහ.</verse>
				<verse number="22">“එසේ නම්, ක්‍රිස්තුස් ය කියන මේ යේසුස්ට මා කුමක් කළ යුතු දැ?” යි පිලාත් ඇසී ය. “ඔහු කුරුසියේ ඇණ ගසනු” යි ඔවුහු සියල්ලෝ කීවෝ ය.</verse>
				<verse number="23">“ඇයි? ඔහු මොන අපරාධයක් කළාට දැ?” යි පිලාත් ඇසී ය. එහෙත් ඔවුහු, “ඔහු කුරුසියේ ඇණ ගසනු!” යි කියමින් ඝෝෂා කළහ.</verse>
				<verse number="24">තම වෑයම නිෂ්ඵල බවත්, ඊටත් වඩා ඔවුන්ගේ ගාලගෝට්ටිය ඇරඹුණු බවත් දුටු පිලාත්, ජලය ගෙන සමූහයා ඉදිරියේ තම අත් සෝදා ගනිමින්, “මේ මිනිසාගේ ලේ ගැන මා නිර්දෝෂයි. එහි වගකීම නුඹලා පිට යැ!” යි කීවේ ය.</verse>
				<verse number="25">මුළු ජනතාව පිළිතුරු දෙමින්, “ඔහුගේ ලේ අප පිටත්, අපගේ දරුවන් පිටත් වේවා!” යි කීහ.</verse>
				<verse number="26">ඉන්පසු ඔවුනට බරබ්බස් නිදහස් කර දුන් පිලාත්, යේසුස්වහන්සේට තලවා, කුරුසියේ ඇණ ගසන්නට බාර දුන්නේ ය.</verse>
				<verse number="27">ඉන්පසු ආණ්ඩුකරුගේ හේවායෝ ප්‍රේතෝරියම් නම් වූ ආණ්ඩුකාර මූලස්ථානයට යේසුස්වහන්සේ ගෙන ගොස්, මුළු හේවා සේනාංකයම උන්වහන්සේ ඉදිරියේ රැස් කරවූහ.</verse>
				<verse number="28">ඔවුහු උන්වහන්සේගේ ඇඳුම් ගලවා දමා, තද රත් පැහැ ලෝගුවක් උන්වහන්සේට ඇඳවූහ.</verse>
				<verse number="29">ඉන්පසු කටු ඔටුන්නක් ගොතා, එය උන්වහන්සේගේ හිස මත තබා, බට දණ්ඩක් උන්වහන්සේගේ සුරතෙහි තබා, උන්වහන්සේ අබියස දණ ගසා, උන්වහන්සේට සමච්චල් කරමින්, “යුදෙව් රජ දිනේවා!” යි කීවෝ ය.</verse>
				<verse number="30">උන්වහන්සේට කෙළ ගැසූ ඔවුහු, බට දණ්ඩ ගෙන, උන්වහන්සේගේ හිසට ඉන් පහර දුන්හ.</verse>
				<verse number="31">මෙසේ ඔවුහු සරදම් කළ පසු, ලෝගුව ගලවා, උන්වහන්සේගේම ඇඳුම් අඳවා, කුරුසියේ ඇණ ගසනු පිණිස පිටතට උන්වහන්සේ ගෙන ගියහ.</verse>
				<verse number="32">ඔවුන් පිටතට යද්දී, නමින් සීමොන් වූ සිරේනියායනු මිනිසෙක් ඔවුනට මුණ ගැසිණි. උන්වහන්සේගේ කුරුසිය උසුලාගෙන යෑමට ඔවුහු ඔහුට බල කළහ.</verse>
				<verse number="33">හිස්කබලේ ස්ථානය යන අරුතැති ගොල්ගොතා නමින් හැඳින්වෙන ස්ථානයට ළඟා වූ කල,</verse>
				<verse number="34">ඔවුහු තිත්ත රස මුසු මිදි යුෂ උන්වහන්සේට බොන්නට දුන්හ. උන්වහන්සේ එය දිව ගා, ප්‍රතික්ෂේප කළ සේක.</verse>
				<verse number="35">උන්වහන්සේ කුරුසියේ ඇණ ගැසූ ඔවුහු, උන්වහන්සේගේ වස්ත්‍ර බෙදා ගන්නට දාදු දැමූහ.</verse>
				<verse number="36">ඉන්පසු එතැන හිඳගත් ඔවුහු උන්වහන්සේ මුර කළහ.</verse>
				<verse number="37">උන්වහන්සේට එරෙහිව වූ චෝදනාව උන්වහන්සේගේ හිසට උඩින්, යුදෙව්වන්ගේ රජු වූ යේසුස් ය මේ යනුවෙන් ලියන ලද පුවරුවක් විය. යුදෙව්වන්ගේ රජු වූ යේසුස් ය මේ.</verse>
				<verse number="38">සොරුන් දෙදෙනෙක් ද එකකු උන්වහන්සේගේ දකුණු පසින් හා අනෙකා උන්වහන්සේගේ වම් පසින් සිටින සේ එහි උන්වහන්සේ සමඟ කුරුසිපත් කළහ.</verse>
				<verse number="39">එතැන පසුකර ආ-ගිය අය තම හිස් වනමින්, උන්වහන්සේට නින්දා-ගැරහුම් කරමින්,</verse>
				<verse number="40">“දේව මාලිගාව කඩා, තුන් දවසකින් එය යළි ගොඩ නගන නුඹ, නුඹම ගලවා ගනින්! නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් කුරුසියෙන් බැස එනු” යි පැවසූහ.</verse>
				<verse number="41">නායක පූජකවරු ද දහම් පඬිවරුන් හා වැඩිහිටියන් සමඟ උන්වහන්සේට සමච්චල් කරමින්,</verse>
				<verse number="42">“ඔහු අනුන් ගැලෙව්වා! එහෙත් තමාම ගලවා ගන්න බැහැ! ඔහු ඉශ්‍රායෙල් රජ්ජුරුවෝ නොවැ, ඔහු කුරුසියෙන් බැස ආවාවේ! එවිට අප ඔහු විශ්වාස කරනවා.</verse>
				<verse number="43">ඔහු දෙවියන්වහන්සේ තුළ විශ්වාසය තබයි. දෙවියන්වහන්සේ ඔහුට කැමති සේක් නම්, උන්වහන්සේ ඔහු ගලවන සේක්වා! මන්ද ‘මම දෙවියන්වහන්සේගේ පුත්‍රයා යැ’ යි ඔහු කියා ඇතැ” යි කීහ.</verse>
				<verse number="44">උන්වහන්සේ සමඟ කුරුසිපත් කර සිටි සොරු ද එලෙසම උන්වහන්සේට නින්දා අපහාස කළහ.</verse>
				<verse number="45">හයවන පැයේ සිට නව වන පැය දක්වා දේශය මුළුල්ලේ අන්ධකාරයක් විය.</verse>
				<verse number="46">නව වන පැයේදී පමණ යේසුස්වහන්සේ උස් හඬින් මොර ගසමින්, “ඒලී, ඒලී, ලාමා සබක්තානි?” පැවසූ සේක. එහි අරුත “මාගේ දෙවියන්වහන්ස, මාගේ දෙවියන්වහන්ස, ඔබ මා අත්හැරියේ මන්ද?” යනුයි.</verse>
				<verse number="47">ඒ ඇසූ එතැන සිටි ඇතමෙක්, “මේ මිනිසා එලියාට හඬගසනවා යැ” යි කීහ.</verse>
				<verse number="48">ඔවුන්ගෙන් කෙනෙක් වහා දිව ගොස් මූදු හත්තක් ගෙන, මිදි යුෂ විනාකිරෙන් එය පොඟවා, දණ්ඩක අමුණා යේසුස්වහන්සේට බොන්නට ළං කළේ ය.</verse>
				<verse number="49">එවිට සෙසු අය, “ඔහොම ඉන්න දෙන්න; ඔහු ගලවන්නට එලියා ඒදැයි බලමු” යි කීහ.</verse>
				<verse number="50">යළිත් වරක් උස් හඬින් මොර ගැසූ යේසුස්වහන්සේ තම ආත්මය බාර දුන් සේක.</verse>
				<verse number="51">එවෙලේ මෙන්න! දේව මාලිගයේ තිරය ඉහළ සිට පහළට දෙකඩව පැළිණි. පොළොව කම්පනය විය. පර්වත දෙදරුම් කැවිණ.</verse>
				<verse number="52">සොහොන් විවර වී, සැතපී සිටි බොහෝ ශුද්ධවතුන්ගේ සිරුරු නැගිටුවන ලදහ.</verse>
				<verse number="53">ඔවුහු තම සොහොන්වලින් පිටතට අවුත්, යේසුස්වහන්සේගේ නැගිටීමෙන් පසු, ශුද්ධ නගරයට ඇතුල්ව බොහෝ දෙනකුට පෙනුණහ.</verse>
				<verse number="54">යේසුස්වහන්සේ මුර කරමින් සිටි සියයේ සේනාධිපතියා හා ඔහු සමඟ සිටි අය පොළෝ කම්පාවත්, සිදු වූ අන් සියල්ලත් දුටු කල, බයින් වෙළී, “නිසැකයෙන්ම ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ම වී යැ!” යි පැවසූහ.</verse>
				<verse number="55">දුරින් සිට එදෙස බලා සිටි ස්ත්‍රීන් බොහෝ දෙනෙක් ද එහි වූහ. ඔවුහු යේසුස්වහන්සේට උපස්ථාන කරමින් ගලීලයේ සිට උන්වහන්සේ අනුව ආවෝ වූහ.</verse>
				<verse number="56">ඔවුන් අතර මග්දලාහි මරියා ද යාකොබ් හා යෝසෙප්ගේ මව වූ මරියා හා සෙබදීගේ පුත්‍රයින්ගේ මව ද වූහ.</verse>
				<verse number="57">යේසුස්වහන්සේගේ ගෝලයකු ව සිටි යෝසෙප් නම් වූ ධනවත් මනුෂ්‍යයෙක් සවස් වෙද්දී, අරිමාතියේ සිට එහි ආවේ ය.</verse>
				<verse number="58">ඔහු පිලාත් වෙත ගොස්, යේසුස්වහන්සේගේ දේහය ඉල්ලී ය. එවිට එය ඔහුට බාර දෙන ලෙස පිලාත් නියෝග කළේ ය.</verse>
				<verse number="59">යෝසෙප් දේහය ගෙන, පිරිසිදු හණ රෙද්දකින් ඔතා,</verse>
				<verse number="60">පර්වතයක් කැණ තනා තිබූ ඔහුටම අයත් අලුත් සොහොන් ලෙන තුළ දේහය තැන්පත් කළේ ය. ලෙන් පිවිසුමට මහත් ගලක් පෙරළා තැබූ ඔහු යන්නට ගියේ ය.</verse>
				<verse number="61">මග්දලාහි මරියා හා අනෙක් මරියා සොහොන් ලෙන අබියස හිඳගෙන වුන්හ.</verse>
				<verse number="62">පසු දින, එනම් සූදානම් වීමේ දවසට පසු දින, නායක පූජකවරු හා පරිසිවරු පිලාත් වෙත රැස් වී,</verse>
				<verse number="63">ඔහු අමතමින්, “මැතිඳුනි, ඒ ප්‍රයෝගකාරයා ජීවත්ව සිටියදී, ‘තුන් දිනකින් මම යළි නැගිටිමි’ යි කී බව අපට මතකයි.</verse>
				<verse number="64">එබැවින් තුන් දවසක් යන තෙක් ඔහුගේ සොහොන රැකවල් ලන්නට අණ කරන්න. නැතහොත් ඔහුගේ ගෝලයින් අවුත්, මිනිය සොරාගෙන ගොස්, ඔහු මළවුන්ගෙන් නැගිටුණායි ජනයාට කියාවි. එවිට මේ අවසන් රැවටිල්ල, ඒ පළමු එකටත් වඩා නරක් වනු ඇතැ” යි කීහ.</verse>
				<verse number="65">පිලාත් පිළිතුරු දෙමින්, “නුඹලාට මුර සෙබළු ඉන්නවා. ගොසින්, රිසි පරිදි සොහොන රැකවල් ලන්නැ” යි කීවේ ය.</verse>
				<verse number="66">එබැවින් ඔවුහු ගොස්, සොහොන් ගල මුද්‍රා තබා, මුර භටයින් සිටුවා, සොහොන රැකවල් ලූහ.</verse>
			</chapter>
			<chapter number="28">
				<verse number="1">සබතට පසු සතියේ පළමු දින අලුයම මග්දලාහි මරියා හා අනෙක් මරියා සොහොන බලන්නට ගියහ.</verse>
				<verse number="2">එවිට මෙන්න! බිහිසුණු භූමිකම්පාවක්. මන්ද ස්වාමින්වහන්සේගේ දූතයෙක් ස්වර්ගයෙන් බැස අවුත්, එම ගල ඉවතට පෙරළා ඒ මත හිඳ ගත්තේ ය.</verse>
				<verse number="3">ඔහුගේ පෙනුම විදුලිය වැනි විය; ඔහුගේ ඇඳුම් හිම මෙන් සුදුව තිබිණි.</verse>
				<verse number="4">මුර සෙබළු ඔහුට බිය වී, වෙවුලා මළවුන් සේ වූහ.</verse>
				<verse number="5">දේව දූතයා ස්ත්‍රීන් අමතමින්, “බය වන්න එපා. ඔබ සොයන්නේ කුරුසියේ ඇණ ගසන ලද යේසුස්වහන්සේ බැව් මම දනිමි.</verse>
				<verse number="6">උන්වහන්සේ මෙහි නැත. උන්වහන්සේ කලින් කියා ඇති පරිදි උන්වහන්සේ නැගිටුණු සේක. එන්න; උන්වහන්සේ තැන්පත් කළ තැන බලා,</verse>
				<verse number="7">හනික ගොස්, උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට්ට වග උන්වහන්සේගේ ගෝලයින්ට කියන්න. ‘උන්වහන්සේ ඔබට කලින් ගලීලයට යන සේක. එහිදී ඔබ උන්වහන්සේ දකිනු ඇත.’ ඔන්න! මා ඔබට කිව්වා” යි කීවේ ය.</verse>
				<verse number="8">ඔවුහු දෙදෙන එවිට බයින් හා ප්‍රීතියෙන් යුතුව, යුහු යුහුව සොහොන වෙතින් පිටත්ව, උන්වහන්සේගේ ගෝලයින්ට දන්වන පිණිස දුවන්නට වන්හ.</verse>
				<verse number="9">එකල, හදිසියේම යේසුස්වහන්සේ ඔවුනට මුණ ගැසී, “සෙත් වේවා!” යි පැවසූ සේක. උන්වහන්සේ වෙත ආ ඔවුහු, උන්වහන්සේගේ පා වැලඳ, උන්වහන්සේට නමස්කාර කළහ.</verse>
				<verse number="10">යේසුස්වහන්සේ එවිට ඔවුන් ඇමතූ සේක්, “බිය වන්න එපා; මාගේ සහෝදරයින් වෙත ගොස්, ගලීලයට යන්නැයි ඔවුනට කියන්න. එහිදී ඔවුන් මා දකිනු ඇතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="11">ඔවුන් එසේ යන අතරේ, මෙන්න, මුර සෙබළුන්ගෙන් ඇතමෙක් නගරයට පිවිස, සිදු වී ඇති සියල්ල නායක පූජකයනට සැල කළහ.</verse>
				<verse number="12">නායක පූජකවරු වැඩිහිටියන් සමඟ සාකච්ඡා කොට, මුර සෙබළුනට ලොකු මුදලක් දී,</verse>
				<verse number="13">ඔවුන් අමතමින්, “නුඹලා ජනයාට මෙහෙම කිව යුතුයි, ‘අප නිදා සිටින අතර, රෑ ඔහුගේ ගෝලයින් අවුත්, ඔහු සොරාගෙන ගියා.’</verse>
				<verse number="14">ඉදින්, ආණ්ඩුකරුට මේ පුවත ගියහොත්, අප ඔහු සතුටු කර, නුඹලාට කරදරයක් නො වන්නට කටයුතු කරනවා” යි කීහ.</verse>
				<verse number="15">මෙසේ මුදල් ලබාගත් මුර සෙබළු, තමන් උපදෙස් ලද පරිදි කළහ. මේ කතාව අද දවස දක්වා යුදෙව්වන් අතර පැතිර පවතී.</verse>
				<verse number="16">ගෝලයින් එකොළොස් දෙනා, යේසුස්වහන්සේ ඔවුනට පවසා තිබූ පරිදි ගලීලයේ කන්දට ගියහ.</verse>
				<verse number="17">උන්වහන්සේ දුටු කල ඔවුහු උන්වහන්සේට නමස්කාර කළහ. එහෙත් ඇතමෙක් සැක කළහ.</verse>
				<verse number="18">යේසුස්වහන්සේ ඔවුන් වෙත අවුත්, “ස්වර්ගයේත්, පොළොවේත් සියලු ආධිපත්‍යය මට දී තිබේ.</verse>
				<verse number="19">එබැවින් ගොස් සියලු ජාතීන්ගෙන් ගෝලයින් තනන්න; පියාණන්වහන්සේගේත්, පුත්‍රයාණන්වහන්සේගේත්, ශුද්ධාත්මයාණන්වහන්සේගේත් නාමයෙන් ඔවුන් බව්තීස්ම කරමින් ද</verse>
				<verse number="20">මා ඔබට අණ කළ හැම දේටම කීකරු වීමට ඔවුන්ට උගන්වමින් ද එසේ කරන්න. සැබවින් ම යුගයේ අවසානය දක්වා නිරතුරුව මම ඔබ සමඟ සිටිමි” යි පැවසූ සේක.</verse>
			</chapter>
		</book>
		<book number="41">
			<chapter number="1">
				<verse number="1">දෙවියන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පටන්ගැන්ම;</verse>
				<verse number="2">දිවැසිවර යෙසායාහි: “මෙන්න, මගේ පණිවුඩකරුවා ඔබට පෙරටුව යවමි. ඔහු, ඔබගේ මාවත සකසන්නේ ය.”</verse>
				<verse number="3">“පාළුකරයේ හඬගසන්නකුගේ කටහඬකි; ‘ස්වාමින්වහන්සේගේ මාර්ගය පිළියෙල කරනු. උන්වහන්සේට සෘජු මාවත් සාදනු’ ” යි සඳහන් අයුරින්,</verse>
				<verse number="4">පාළුකරයේ බව්තීස්ම කරමින්, පාප කමාව පිණිස පසුතැවිලිවීමේ බව්තීස්මය දේශනා කරමින් යොහන් බව්තීස්ත පැමිණියේ ය.</verse>
				<verse number="5">එකල මුළු යූදා රට ද සියලු යෙරුසලම් වාසීහු ද ඔහු වෙත ගියහ. ඔවුහු තමන්ගේ පාප කියා දෙමින්, යොර්දාන් නදියෙහි ඔහුගෙන් බව්තීස්ම ලදහ.</verse>
				<verse number="6">ඔටු ලෝම වස්ත්‍රයක් හැඳ, ඉණ වටා හම් පටියක් බැඳ සිටි යොහන්ගේ ආහාරය වූයේ පළඟැටියන් හා වන මී ය.</verse>
				<verse number="7">ඔහු දේශනා කරමින්, “මට වඩා බලවත් කෙනෙක් මට පසුව එති; නැමී, එතුමන්ගේ පාවහන් පටි මුදන්නවත් මා වටින්නේ නැත.</verse>
				<verse number="8">මා ඔබ බව්තීස්ම කරන්නේ වතුරිනි. එහෙත් එතුමාණෝ ශුද්ධාත්මයාණන්ගෙන් ඔබ බව්තීස්ම කරන සේකැ” යි පැවසී ය.</verse>
				<verse number="9">එදවස්හි යේසුස්වහන්සේ ගලීලයේ නාසරෙත් සිට පැමිණ, යොහන්ගෙන් යොර්දානයේදී බව්තීස්මය ලැබූ සේක.</verse>
				<verse number="10">උන්වහන්සේ දියෙන් ගොඩවෙත්ම, එකෙණෙහිම, ස්වර්ගය විවරව ආත්මයාණන් පරෙවියකු ලෙස තමා වෙත බැස එනු දුටු සේක.</verse>
				<verse number="11">තවද අහසින් නික්මුණු කටහඬක්, “මාගේ ප්‍රේමණීය පුත්‍රයා ඔබයි; ඔබ සමඟ මා ඉතා ප්‍රසන්න යැ” යි පැවසී ය.</verse>
				<verse number="12">එකෙණෙහි ආත්මයාණෝ, පාළුකරයට උන්වහන්සේ පිටත් කළ සේක.</verse>
				<verse number="13">සාතන් විසින් පරීක්ෂා කරනු ලබමින්, උන්වහන්සේ දවස් හතළිහක් පාළුකරයේ සිටි සේක. උන්වහන්සේ වන සතුන් අතරේ සිටි සේක්, දේව දූතයෝ උන්වහන්සේට සත්කාර කළහ.</verse>
				<verse number="14">යොහන් සිරගෙයි දමනු ලැබූ පසු, යේසුස්වහන්සේ ගලීලයට පැමිණ, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය ප්‍රකාශ කරමින්,</verse>
				<verse number="15">“කාලය සම්පූර්ණ වී ඇත; දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළංව තිබේ. පසුතැවිලි වී ශුභාරංචිය අදහාගන්නැ!” යි පැවසූ සේක.</verse>
				<verse number="16">යේසුස්වහන්සේ ගලීල මුහුදු වෙරළේ ඇවිද යන අතරේ, සීමොන් හා ඔහුගේ සහෝදර අන්දෘ මුහුදේ දැලක් හෙළනු දුටු සේක; මන්ද ඔවුහු ධීවරයෝ ය.</verse>
				<verse number="17">යේසුස්වහන්සේ ඔවුන් ඇමතූ සේක්, “මා අනුව එන්න; මම ඔබ මිනිසුන් අල්ලන්නන් කරන්නෙමි” යි කී සේක.</verse>
				<verse number="18">එකෙණෙහි ඔවුහු තම දැල් අත්හැර උන්වහන්සේ අනුව ගියහ.</verse>
				<verse number="19">මද දුරක් ගිය කල සෙබදීගේ පුත්‍ර යාකොබ් හා ඔහුගේ සහෝදර යොහන් දැල් අලුත්වැඩියා කරමින්, ඔවුන්ගේ ඔරුවේ හිඳිනු දුටු උන්වහන්සේ,</verse>
				<verse number="20">එකෙණෙහිම ඔවුන් කැඳවූ සේක; එවිට ඔවුහු තම පියා වූ සෙබදී හා කුලීකරුවන් ඔරුවේ සිටින්නට හැර, උන්වහන්සේ අනුව ගියහ.</verse>
				<verse number="21">ඔවුහු කපර්ණවුම් වෙත ගියහ. එකෙණෙහි සබතේදී උන්වහන්සේ සිනගෝගයට ඇතුල්ව ඉගැන්වූ සේක.</verse>
				<verse number="22">උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන ඔවුහු විස්මිත වූහ. මන්ද දහම් ගුරුන් මෙන් නො ව, උන්වහන්සේ ආධිපත්‍යය ඇත්තකු මෙන් ඉගැන්වූ බැවිනි.</verse>
				<verse number="23">ඔවුන්ගේ සිනගෝගයේ සිටි අශුද්ධ ආත්මයක් ආවේශ වූ මිනිසෙක් එකෙණෙහි උස් හඬින් කෑ ගසා,</verse>
				<verse number="24">“අප සමඟ ඔබට ඇති කාරිය මොකක් ද නාසරෙත්හි යේසුස්වහන්ස? ඔබ ආවේ අප විනාශ කර දමන්න ද? ඔබ කවුරුදැයි මම දනිමි. ඔබ දෙවියන්වහන්සේගේ ශුද්ධ තැනැන්වහන්සේ යැ!” යි කීවේ ය.</verse>
				<verse number="25">එහෙත් යේසුස්වහන්සේ ඔහුට තරවටු කරමින්, “නිශ්ශබ්ද වනු! මොහුගෙන් පිට වනු!” යි කී සේක.</verse>
				<verse number="26">එවිට මිනිසා වේගයෙන් වෙවුල වූ දුෂ්ටාත්මය, මර හඬ නගමින් ඔහුගෙන් පිටතට ආවේ ය.</verse>
				<verse number="27">විස්මිත වූ ජනයා ඔවුනොවුන් අතර ප්‍රශ්න කරමින්, “මොකක් ද මේ? ආධිපත්‍යයෙන් යුතු අලුත් ඉගැන්වීමක්! මෙතුමා යක්ෂාත්මයන්ට පවා අණ දෙනවා; ඔවුන් ද එතුමන්ට කීකරු වෙනවා” යි කීවෝ ය.</verse>
				<verse number="28">එකෙණෙහි උන්වහන්සේගේ කීර්තිය මුළු ගලීල පළාත පුරා පැතිර ගියේ ය.</verse>
				<verse number="29">සිනගෝගයෙන් පිට වූ විගස, ඔවුහු යාකොබ් හා යොහන් සමඟ සීමොන්ගේ හා අන්දෘගේ නිවසට ගියහ.</verse>
				<verse number="30">සීමොන්ගේ නැන්දණිය උණෙන් පෙළෙමින් ඇඳට වී සිටියා ය. එකෙණෙහි ඔවුහු ඈ ගැන උන්වහන්සේට කීහ.</verse>
				<verse number="31">එවිට උන්වහන්සේ ඇය ළඟට අවුත්, ඇගේ අතින් අල්ලා නැගිට වූ සේක; උණ බැස ගියේ ය. ඕ උන්වහන්සේට සත්කාර කරන්නට වූවා ය.</verse>
				<verse number="32">එදින සවස හිරු අවරට යන කල, ඔවුහු සියලු රෝගීන් ද යක්ෂාවේශවූවන් ද උන්වහන්සේ වෙත ගෙන ආහ.</verse>
				<verse number="33">මුළු නගරයම දොර ළඟ එක්රොක් වූහ.</verse>
				<verse number="34">නොයෙකුත් ආබාධවලින් පෙළුණු රෝගීන් බොහෝ දෙනකු සුව කළ උන්වහන්සේ බොහෝ දුෂ්ටාත්ම ද පලවා හැරිය සේක. එහෙත් දුෂ්ටාත්මයන්ට කතා කිරීමට උන්වහන්සේ ඉඩ දුන්නේ නැත; මන්ද උන්වහන්සේ කවුරුදැයි මොවුන් දැන සිටි හෙයිනි.</verse>
				<verse number="35">අලුයම් උදයේ තවමත් අඳුර තිබියදී අවදි වූ උන්වහන්සේ පිටත්ව, හුදෙකලා තැනකට ගිය සේක්, එහිදී යාච්ඤා කළ සේක.</verse>
				<verse number="36">සීමොන් හා ඔහු සමඟ සිටි අය උන්වහන්සේ සොයා ගියහ.</verse>
				<verse number="37">ඔවුන්ට උන්වහන්සේ මුණ ගැසුණු කල, “හැමෝම ඔබ සොයනවා!” යි කීහ.</verse>
				<verse number="38">උන්වහන්සේ ඔවුන් අමතමින්, “අපි අවට ගම්වලට යමු. එහිදීත් මට දේශනා කළ හැකියි. මන්ද මා පිටත්ව පැමිණියේ ඒ සඳහා යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="39">මෙසේ උන්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල දේශනා කරමින් හා යක්ෂාත්මයින් දුරු කරමින් ගලීල දේශය පුරා සැරි සැරූ සේක.</verse>
				<verse number="40">එවිට කුෂ්ඨ රෝගියෙක් උන්වහන්සේ වෙත පැමිණ, දණින් වැටී, “ඔබ කැමති නම් මා පවිත්‍ර කරන්නට ඔබට පුළුවනැ” යි අයැදී ය.</verse>
				<verse number="41">අනුකම්පාවෙන් පිරුණු උන්වහන්සේ අත දිගු කොට, ඔහු ස්පර්ශ කර, “මා කැමතියි; පවිත්‍ර වන්නැ!” යි කී සේක.</verse>
				<verse number="42">එකෙණෙහිම කුෂ්ඨය ඔහුගෙන් පහ වී, ඔහු පවිත්‍ර විය.</verse>
				<verse number="43">යේසුස්වහන්සේ වහා ඔහු පිටත් කර හැරියේ දැඩිව අවවාද කරමිනි.</verse>
				<verse number="44">“කිසිවකුටත් මේ ගැන කිසිවක් නො කියන්නට වගබලා ගන්න; එහෙත් ගොසින්, පූජකයා ඉදිරියේ පෙනී සිට, ඔවුන්ට සාක්ෂියක් වශයෙන් ඔබේ පවිත්‍ර වීම පිළිබඳව මෝසෙස් නියම කළ දෑ ඔප්පු කරන්නැ” යි කී සේක.</verse>
				<verse number="45">එහෙත් ඔහු පිටත්ව ගොස්, ඒ ගැන පතළ කරමින්, ප්‍රසිද්ධියේ කතා කළේ ය. ඒ හේතුවෙන් යේසුස්වහන්සේට ප්‍රසිද්ධියේ කිසි නගරයකට ඇතුළු වීමට නො හැකි විය. උන්වහන්සේ නගරයෙන් පිටත හුදෙකලා තැන්වල සිටිය ද හැම පැත්තෙන්ම ජනයා උන්වහන්සේ වෙත ආහ.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">ටික දිනකින් උන්වහන්සේ යළි කපර්ණවුමට පැමිණි කල, උන්වහන්සේ ගෙදර ආ වග පතළ විය.</verse>
				<verse number="2">එවිට දොරකඩින් පිටත පවා ඉඩක් නො මැති තරමට ජනකායක් එහි එක්රොක් වූහ. උන්වහන්සේ ඔවුන්ට වචනය දේශනා කළ සේක.</verse>
				<verse number="3">සිවු දෙනකු විසින් උසුලාගෙන ආ අංසබාග රෝගියකු උන්වහන්සේ වෙත ගෙන එන ලදී.</verse>
				<verse number="4">ජනකාය නිසා උන්වහන්සේට ළං විය නො හැකි වූයෙන්, ඔවුහු උන්වහන්සේට ඉහළින් පියස්ස ගලවා, කුහරයක් සාදා, අංසබාග රෝගියා ඔත් සයනය එතුළින් පහළට බැස්සූහ.</verse>
				<verse number="5">යේසුස්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, අංසබාග රෝගියා අමතා, “පුත්‍රය, ඔබේ පාප කමා කරන ලදැ” යි කී සේක.</verse>
				<verse number="6">එහි හිඳ සිටි දහම් පඬිවරු ඇතමෙක් තමන් තුළම ප්‍රශ්න කර ගනිමින්,</verse>
				<verse number="7">“මේ මිනිහා මෙලෙස කතා කරන්නේ ඇයි? ඔහු කරන්නේ දේවාපහාසයක්! පාප කමා කළ හැක්කේ දෙවියන්වහන්සේට පමණක් මිස අන් කවරකුට දැ?” යි සිතූහ.</verse>
				<verse number="8">ඔවුන් මේ මේ ලෙස ඔවුන්ගේ හදවතින් සිතූ වග එකෙණෙහිම යේසුස්වහන්සේ තම ආත්මයෙන් දැන, ඔවුන් අමතා, “ඔබ මෙවැනි දෑ ඔබේ හදවතින් සිතන්නේ මන්ද?</verse>
				<verse number="9">මෙයින් අංසබාගය ඇත්තාට කීමට වඩා පහසු කුමක් ද? ‘ඔබේ පාප කමා කරන ලදැ’ යි කීම ද? නැතහොත් ‘නැගිට සයනයත් ගෙන ඇවිදින්නැ’ යි කීම ද?</verse>
				<verse number="10">එනමුත් පොළොවේදී පාප කමා කිරීමට මනුෂ්‍ය-පුත්‍රයාට බලය ඇති බව ඔබ දැනගන්නා පිණිස යැ” යි කී උන්වහන්සේ අංසබාග රෝගියා අමතා,</verse>
				<verse number="11">“නැගිට ඔබේ යහන රැගෙන, ගෙදර යන ලෙස මම ඔබට අණ කරමි” යි පැවසූ සේක.</verse>
				<verse number="12">ඔවුන් සැවොම බලා සිටියදී ඔහු නැගිට, එකෙණෙහිම තමන් වැතිර සිටි යහනත් ගෙන ඇවිද ගියේ ය. සියල්ලෝ විස්මපත්ව, “මේ වගේ දෙයක් අප කිසිදාක දැක නැතැ!” යි කියමින් දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ.</verse>
				<verse number="13">යළිත් උන්වහන්සේ පිටත්ව මුහුද අද්දරින් ගිය සේක. විශාල ජනකායක් උන්වහන්සේ වෙත පැමිණියෙන් උන්වහන්සේ ඔවුන්ට උගන්වන්නට වූ සේක.</verse>
				<verse number="14">උන්වහන්සේ ගමන් ගනිද්දී, අල්පෙවුස්ගේ පුත් ලෙවී, අයබදු කාර්යාලයේ හිඳ සිටිනු දැක, “මා අනුව එන්නැ” යි ඔහුට කී සේක. එවිට ඔහු නැගිට, උන්වහන්සේ අනුව ගියේ ය.</verse>
				<verse number="15">යේසුස්වහන්සේ ලෙවීගේ නිවසේ කෑමට හිඳ සිටියදී, බදු අය කරන්නන් බොහෝ දෙනෙක් ද පව්කාරයෝ ද උන්වහන්සේ හා ගෝලයින් සමඟ හිඳ සිටියහ. මන්ද උන්වහන්සේ අනුව ගියෝ බොහෝ දෙනෙකි.</verse>
				<verse number="16">උන්වහන්සේ පව්කරුවන් හා බදු අය කරන්නන් සමඟ ආහාර ගනු දුටු පරිසිවරුන්ගේ දහම් පඬිවරු, උන්වහන්සේගේ ගෝලයින් අමතමින්, “මොහු බදු අය කරන්නන් හා පව්කරුවන් සමඟ කන්නේ මන්දැ?” යි ඇසූහ.</verse>
				<verse number="17">එය ඇසුණු යේසුස්වහන්සේ, “වෙදකු ඕනෑ කරන්නේ නිරෝගීනට නො ව රෝගීන්ටයි. මා ආවේ, පව්කරුවන් මිස ධර්මිෂ්ඨයින් කැඳවීමට නො වේ” යි පැවසූ සේක.</verse>
				<verse number="18">යොහන්ගේ ගෝලයෝ හා පරිසිවරු උපවාසයේ යෙදුණහ. එකල ඇතැම් දෙනෙක් පැමිණ, “යොහන්ගේ ගෝලයින් හා පරිසිවරුන්ගේ ගෝලයින් උපවාසයේ යෙදෙනවා; එහෙත් ඔබේ ගෝලයින් උපවාසයේ නො සිටින්නේ මන්දැ?” යි උන්වහන්සේගෙන් ඇසූහ.</verse>
				<verse number="19">එවිට යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මනාලයා මංගල පිරිස සමඟ සිටියදී, ඔවුන්ට නිරාහාරව සිටිය හැකි ද? මනාලයා ඔවුන් සමඟ සිටින තාක්, නිරාහාරව සිටින්නට ඔවුන්ට නො හැකියි.</verse>
				<verse number="20">එහෙත් මනාලයා ඔවුන් වෙතින් ඉවතට ගන්නා දවස් පැමිණෙයි. ඒ දවසේ ඔවුන් නිරාහාරව සිටිනු ඇත.</verse>
				<verse number="21">“කිසිවකු තාන් රෙදි කඩකින් පරණ ඇඳුමකට අණ්ඩයක් දමන්නේ නැත. එසේ කළොත්, අලුත් රෙදි කඩ හැකිළුණු විට පරණ ඇඳුම ඇදී ඉරුම වඩා විශාල වේ.</verse>
				<verse number="22">එමෙන්ම කිසිවකු අලුත් මිදි යුෂ පැරණි සම් මලුවල දමන්නේ නැත. එසේ දැමුවහොත්, අලුත් මිදි යුෂ සැරට සම් මලු පැළී මිදි යුෂත්, සම් මලුත් අපතේ යයි. අලුත් මිදි යුෂ දමන්නේ අලුත් සම් මලුවල යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="23">එක් සබත් දිනෙක උන්වහන්සේ කුඹුරු යායක් මැදින් ගමන් ගනිද්දී, උන්වහන්සේගේ ගෝලයෝ ගමන් කරමින්, ධාන්‍ය කරල් කඩන්නට වන්හ.</verse>
				<verse number="24">එවිට පරිසිවරු උන්වහන්සේ අමතමින්, “බලන්න, සබතේදී නීති විරෝධී දෙයක් ඔවුන් කරන්නේ මන්දැ?” යි ඇසූහ.</verse>
				<verse number="25">උන්වහන්සේ පිළිතුරු දෙමින්, “වරක් තමාටත්, තම සගයින්ටත් අග හිඟ වී, කුසගිනි වූ විට දාවිත් කළ දේ ඔබ කවදාවත් කියවා නැද්ද?</verse>
				<verse number="26">අබියාතර් උත්තම පූජකයාව සිටි කාලයේ, ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල්ව, පූජකයනට විනා, අන් කිසිවකු කෑමට අකැප පිදුම් රොටි ගෙන කා, තම සගයින්ටත් දුන්නේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="27">තවද උන්වහන්සේ ඔවුන් අමතමින්, “මිනිසා උදෙසා සබත ඇති කළා මිස, මිනිසා සබත උදෙසා නො වේ.</verse>
				<verse number="28">එබැවින් මනුෂ්‍ය පුත්‍රයාණෝ සබතේ ද ස්වාමියාණෝ යැ” යි පැවසූ සේක.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">තවත් වතාවක උන්වහන්සේ සිනගෝගයට ගිය කල, අතක් අප්‍රාණික මිනිසෙක් ද එහි විය.</verse>
				<verse number="2">සබතේදී උන්වහන්සේ ඔහු සුව කරත්දැයි බලා, උන්වහන්සේට චෝදනා කරන පිණිස, ඔවුහු යේසුස්වහන්සේ දෙස විමසිල්ලෙන් බලාවුන්හ.</verse>
				<verse number="3">උන්වහන්සේ අත අප්‍රාණික මිනිසා අමතමින්, “නැගිට ඇවිත් මෙතැන සිටින්නැ” යි කී සේක.</verse>
				<verse number="4">ඉන්පසු ඔවුන් අමතමින්, “සබතේදී නිත්‍යානුකූල වන්නේ යහපත කිරීම ද? නපුර කිරීම ද? ජීවිතය ගැලවීම ද? නැතිනම් වැනසීම දැ?” යි ඇසූ සේක. එහෙත් ඔවුහු නිශ්ශබ්දව සිටියහ.</verse>
				<verse number="5">කෝපයෙන් ඔවුන් හැම සිසාරා බලා, ඔවුන්ගේ සිත් දැඩිකම ගැන සංවේගයට පත් උන්වහන්සේ, ඒ මිනිසා අමතා, “ඔබේ අත දිගු කරන්නැ” යි කී සේක. ඔහු ඒ අත දිගු කළේ ය. එය ප්‍රකෘතිමත් කරනු ලැබ තිබිණි.</verse>
				<verse number="6">පරිසිවරු පිටත්ව ගොස්, එකෙණෙහිම හෙරෝදියයන් සමඟ රැස් වී, උන්වහන්සේ මරා දමන්නේ කෙසේදැයි කුමන්ත්‍රණ කළහ.</verse>
				<verse number="7">යේසුස්වහන්සේ එතැනින් නික්ම, තම ගෝලයින් සමඟ මුහුද වෙත පැමිණි සේක. ගලීලයෙන් අති මහත් ජනකායක් උන්වහන්සේ පසුපස ගියහ.</verse>
				<verse number="8">උන්වහන්සේ කළ සියලු දෑ ගැන අසා තිබූ මහත් සමූහයක් යුදයෙන්, යෙරුසලමෙන්, ඉදුමයෙන්, යොර්දාන් එගොඩින්, තීර් හා සීදොන් අවටින් යන පෙදෙස්වලින් උන්වහන්සේ වෙත ආහ.</verse>
				<verse number="9">සමූහයා නිසා තෙරපීමෙන් වැළකීමට තමන්ට කුඩා ඔරුවක් සූදානම් කරන ලෙස, උන්වහන්සේ තම ගෝලයින්ට කී සේක.</verse>
				<verse number="10">මන්ද උන්වහන්සේ බොහෝ දෙනකු සුව කර තිබූ හෙයින්, රෝගීවූවෝ උන්වහන්සේට අත ගසන්නට, පොදි කකා ඉදිරියට තල්ලුවී ආවෝ ය.</verse>
				<verse number="11">තවද අශුද්ධාත්මයෝ උන්වහන්සේ දුටු විට උන්වහන්සේ ඉදිරියේ වැටී, “දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ ඔබ යැ” යි මොර ගැසුවෝ ය.</verse>
				<verse number="12">එහෙත් තමා කවුරුන්දැයි ප්‍රසිද්ධ නො කරන ලෙස උන්වහන්සේ ඔවුන්ට තදින් අණ කළ සේක.</verse>
				<verse number="13">යේසුස්වහන්සේ කන්දකට නැගී, තමන් කැමති වූවන් තමා වෙත කැඳවූ සේක. ඔවුහු උන්වහන්සේ වෙත ආහ.</verse>
				<verse number="14">උන්වහන්සේ දොළොස් දෙනකු තෝරාගත් සේක. එසේ කළේ, ඔවුන් උන්වහන්සේ සමඟ සිටින පිණිසත්, දේශනා කිරීමට උන්වහන්සේ ඔවුන් පිටත් කර හරින පිණිසත්,</verse>
				<verse number="15">යක්ෂාත්මයන් දුරු කිරීමේ බලය ඔවුන් දරන පිණිසත් ය.</verse>
				<verse number="16">එසේ තෝරාගත් දොළොස් දෙනා: (උන්වහන්සේ පේතෘස් යන නම් තැබූ) සීමොන්,</verse>
				<verse number="17">(උන්වහන්සේ “ගර්ජනාවේ පුත්‍රයෝ” යන අරුතින් බෝවනර්ගස් යන නම දුන්) සෙබදීගේ පුත්‍රයෝ වන යාකොබ් හා යාකොබ්ගේ සහෝදර යොහන්,</verse>
				<verse number="18">අන්දෘ, පිලිප්, බර්තොලමෙව්, මතෙව්, තෝමස්, අල්පෙවුස්ගේ පුත්‍ර යාකොබ්, තද්දෙවුස්, ජ්වලිතයා යයි නම් ලත් සීමොන්</verse>
				<verse number="19">හා උන්වහන්සේ පාවා දුන් යූදස් ඉස්කාරියොත් ය.</verse>
				<verse number="20">ඉන්පසු උන්වහන්සේ නිවසට ගිය සේක. සමූහයා යළි රැස්වූයෙන්, ඔවුන්ට අහර ගැනීමට තරම් වත් ඉඩක් නො ලැබිණි.</verse>
				<verse number="21">උන්වහන්සේගේ පවුලේ අයට එය සැල වූයෙන් ඔවුහු උන්වහන්සේ අල්ලාගෙන ඒමට ගියහ. මන්ද, “ඔහුගේ සිහි විකල් වෙලා” යි ඔවුහු කීහ.</verse>
				<verse number="22">තවද යෙරුසලමෙන් පැමිණි දහම් පඬිවරු, “මොහුට බෙල්සෙබුල් ආවේශ වෙලා! මොහු යක්ෂාත්මයන් දුරු කරන්නේ යක්ෂාධිපති මාර්ගයෙනැ” යි කීහ.</verse>
				<verse number="23">එහෙයින් උන්වහන්සේ තමා වෙත ඔවුන් කැඳවා, උපමාවලින් ඔවුන්ට කතා කරමින්, “සාතන්ට, සාතන් දුරු කළ හැක්කේ කෙසේ ද?</verse>
				<verse number="24">රාජ්‍යයක් එයටම එරෙහිව බෙදුනහොත් එම රාජ්‍යයට පැවතිය නො හැක.</verse>
				<verse number="25">නිවසක් එයටම එරෙහිව බෙදුනහොත් එම නිවසට පැවතිය නො හැක.</verse>
				<verse number="26">සාතන් තමන්ටම එරෙහිව නැගිට, බෙදුනහොත් ඔහුට පැවතිය නො හැකි ය. එය ඔහුගේ අවසානයයි.</verse>
				<verse number="27">පළමු කොට බලවන්තයා බැඳ දැමුවොත් මිස, බලවතකුගේ ගෙට ඇතුළු වී, ඔහු සතු දේ කොල්ලකන්නට කිසිවකුටත් නුපුළුවන. බැඳ දැමූ පසු, ඔහුගේ නිවසම කොල්ලකත හැකි වෙයි.</verse>
				<verse number="28">සැබවින් ම මා ඔබට කියන්නේ, මනුෂ්‍ය-පුත්‍රයින්ගේ සියලු පාප හා ඔවුන් පවසන දේවාපහාස ඔවුන්ට කමා කරනු ලබන්නේ ය.</verse>
				<verse number="29">එහෙත් ශුද්ධාත්මයාණන්ට එරෙහිව දේවාපහාස කරන කිසිවකුට කිසි කලෙක කමාවක් නැත. ඔහු සදාතන පාපයකට වරදකරු වී සිටිතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="30">උන්වහන්සේ එසේ පැවසුවේ, “මොහුට අපවිත්‍ර ආත්මයක් ඇතැ” යි ඔවුන් කී බැවිනි.</verse>
				<verse number="31">එවිට උන්වහන්සේගේ මෑණියන් හා සහෝදරයින් පැමිණ, පිටත සිටිමින්, උන්වහන්සේ කැඳවමින් පණිවුඩ යැවූහ.</verse>
				<verse number="32">උන්වහන්සේ වටකර වාඩි වී සිටි සමූහයා, “ඔබේ මෑණියන් හා සහෝදරයින් ඔබ දකින්නට ඇවිත් පිටත සිටිති” යි උන්වහන්සේට දැන්වූහ.</verse>
				<verse number="33">උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මාගේ මෑණියන් හා මගේ සහෝදරයින් කවුරු දැ?” යි පවසා,</verse>
				<verse number="34">තමා වටා වාඩි වී සිටියවුන් දෙස බලා, “මෙන්න මාගේ මෑණියන් හා මාගේ සහෝදරයින්.</verse>
				<verse number="35">දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන යමෙක් වේ ද, හෙතෙම මාගේ සහෝදරයා ද සහෝදරිය ද මෑණියන් ද වෙතැ” යි පැවසූ සේක.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">නැවතත් උන්වහන්සේ මුහුද අද්දරදී උගන්වන්නට වූ සේක. විශාල ජනකායක් උන්වහන්සේ වටා රොක්වූයෙන්, උන්වහන්සේ මුහුදේ ඔරුවකට නැග, එහි හිඳගත් අතර, මුළු ජනකායම මුහුද අයිනේ වෙරළේ සිටියහ.</verse>
				<verse number="2">උන්වහන්සේ ඔවුන්ට බොහෝ දෑ ඉගැන්වූයේ උපමා අනුසාරයෙනි. ඔවුන්ට උගන්වමින්, උන්වහන්සේ මෙසේ කී සේක;</verse>
				<verse number="3">“සවන් දෙන්න! වපුරන්නෙක් බීජ වපුරන්නට පිටත්ව ගියේ ය.</verse>
				<verse number="4">ඔහු වපුරන කල, බීජ සමහරක් මඟ දිගේ වැටිණි. කුරුල්ලෝ ඇවිත් ඒවා කා දැමූහ.</verse>
				<verse number="5">සමහරක් එතරම් පස් නො තිබූ ගල් බිමේ වැටිණි. පස් නො ගැඹුරු බැවින්, ඒවා ඉක්මනින් පැළවිණි.</verse>
				<verse number="6">එහෙත් හිරු නැගුණ කල, ඒවා කරවී, මුල් නොමැතිකමින් වියළී ගියේ ය.</verse>
				<verse number="7">තවත් බීජ, කටු පඳුරු අතරේ වැටිණි. කටු පැළ වැඩී ඒවා යට කර දැමී ය. එබැවින් ඒවා පල දැරුවේ නැත.</verse>
				<verse number="8">සෙසු බීජ සරු බිමෙහි වැටිණි; ඒවා පැළවී, වැඩී, පල දරමින් තිස් ගුණයක්, හැට ගුණයක් හා සිය ගුණයක් බැගින් අස්වනු ඉපද වීය.”</verse>
				<verse number="9">එසේ කී උන්වහන්සේ, “කන් ඇත්තා අසත්වා!” යි කී සේක.</verse>
				<verse number="10">උන්වහන්සේ හුදෙකලාව සිටියදී, දොළොස් දෙනා සමඟ උන්වහන්සේ වටා සිටි අය, උපමා ගැන උන්වහන්සේගෙන් විමසූහ.</verse>
				<verse number="11">උන්වහන්සේ ඔවුන් අමතමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රහස් දැනගැනීමට ඔබට වර දී තිබේ. එහෙත් පිටස්තර අයට හැම දෙයක්ම දන්වන්නේ උපමා මඟිනි.</verse>
				<verse number="12">මන්ද, “ ‘නිබඳව ඔවුන් දකින නමුදු කිසි විටෙක වටහා නො ගන්න පිණිස ය; නිබඳව අසන නමුදු කිසි විටෙක තේරුම් නො ගන්න පිණිස ය; නැතහොත් ඔවුන් හැරී කමාව ලබනු ඇතැ’ යි” පැවසූ සේක.</verse>
				<verse number="13">යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබට මේ උපමාව තේරෙන්නේ නැද්ද? එසේ නම් අනෙක් උපමා ඔබ තේරුම් ගන්නේ කොහොම ද?</verse>
				<verse number="14">වපුරන්නා වචනය වපුරයි.</verse>
				<verse number="15">වචනය වැපුරූ තැන්වල ඇතැම් දෙනා මඟ දිගේ වපුළ වූ බීජ වගෙයි. ඔවුන් ඇසූ කෙණෙහිම සාතන් ඇවිත් ඔවුන් තුළ වපුරන ලද බීජ පැහැර ගනී.</verse>
				<verse number="16">ගල් බිමේ වැපුරුණු බීජ වන්නේ වචනය අසා, එක්වරම එය සතුටින් පිළිගන්නා තැනැත්තා ය.</verse>
				<verse number="17">එහෙත් මුල් ඇද නො තිබූ බැවින්, ඔවුන් පැවත සිටින්නේ මද කලක් පමණි. වචනය නිසා හිංසා හෝ පීඩා හෝ පැමිණි කෙණෙහි ඔවුහු වැටී යති.</verse>
				<verse number="18">අනෙක් අය කටු අතරේ වපුළ ඒවායි. ඔවුන් වචනය අසන අයයි;</verse>
				<verse number="19">එහෙත් මේ ජීවිතයේ කම්කටොලු, ධන සම්පත්වල රැවටිල්ල හා අනිකුත් දේවලට ඇති ආශා ඇතුළු වී, වචනය පොඩිකර දමයි. එහෙයින් ඔවුන් පල දරන්නේ නැත.</verse>
				<verse number="20">සරු බිමෙහි වපුරන ලද්දවුන් වන්නේ, වචනය අසා, එය පිළිගෙන, තිස් ගුණයකින්, හැට ගුණයකින් හා සිය ගුණයකින් පල දරන අය යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="21">උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ පහනක් ගෙනෙන්නේ, එය බඳුනකින් වසා තබන්න ද? නැත්නම් ඇඳක් යට තබන්න ද? පහන් රුක මත තැබීමට නො වේ ද?</verse>
				<verse number="22">මන්ද අනාවරණ නො කරන්නට සඟවන ලද කිසිවක් නැත; එළියට නො ගෙනෙන ලෙස වසන් කරන කිසිවක් ද නැත.</verse>
				<verse number="23">අසන්නට කන් ඇත්තේ කවරකුට ද, ඔහු අසත්වා!”</verse>
				<verse number="24">උන්වහන්සේ ඔවුන්ට කතා කරමින්, “ඔබ අසන දෑ ගැන විමසිලිමත් වන්න. ඔබ මනින මිම්මෙන්ම ඔබට ද මැන දෙනු ලැබේ. ඊට වැඩියෙනුත් ඔබට දෙනු ලැබේ.</verse>
				<verse number="25">ඇති තැනැත්තාට වඩ වඩා දෙනු ලැබේ. නැති තැනැත්තාගෙන් ඔහුට ඇති දේත් ගනු ලැබේ” යි කී සේක.</verse>
				<verse number="26">උන්වහන්සේ ඔවුන් අමතමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යය මෙබඳු ය. මිනිහෙක් තම පොළොවේ බීජ ඉසියි;</verse>
				<verse number="27">ඔහු නිදා සිටිය ද අවදිව සිටිය ද රැයේ හා දහවලේ ඒ බීජ පැළවී, වැඩෙයි. ඒ කෙසේදැයි ඔහු නො දනී.</verse>
				<verse number="28">පොළොවෙන්ම පල හට ගන්වයි. පළමුව දළු ද පසුව කරල් ද ඉන්පසුව කරල් පුරා බීජ ද හට ගන්වයි.</verse>
				<verse number="29">අස්වැන්න පැසුණු වහාම ඔහු ඊට දෑකැත්ත යොදයි. මන්ද අස්වැන්න ඇවිල්ලා” යි පැවසූ සේක.</verse>
				<verse number="30">උන්වහන්සේ යළි ඔවුන් අමතමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යය සමාන කළ හැක්කේ කුමකට ද? ඊට යෙදිය හැකි උපමාව කුමක් ද?</verse>
				<verse number="31">එය අබ ඇටයකට සමාන ය. පොළොවේ වැපුරූ කල, ලොව බීජ අතර කුඩාම බීජය එයයි.</verse>
				<verse number="32">එනමුත් එය සිටවූ පසු වැඩී, එහි සෙවණේ පක්ෂීන්ට කැදලි තැනීමට තරම් විශාල අතු සහිතව ගෙවතු පැළෑටි අතර විශාලතම පැළෑටිය වේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="33">මේ හා සමාන උපමා බොහොමයක් මඟින් ඔවුනට තේරුම් ගත හැකි පමණට උන්වහන්සේ ඔවුනට වචනය පැවසූ සේක.</verse>
				<verse number="34">උපමාවකින් තොරව උන්වහන්සේ ඔවුනට කිසිවක්ම පැවසුවේ නැත. එහෙත් ස්වකීය ගෝලයින්ට උන්වහන්සේ පෞද්ගලිකව හැම දෙයක්ම තේරුම් කළ සේක.</verse>
				<verse number="35">එදින සවස් වූ කල ඔවුන් ඇමතූ උන්වහන්සේ, “අපි එගොඩට යමු” යි කී සේක.</verse>
				<verse number="36">සමූහයා එහි සිටියදී, උන්වහන්සේ ඔරුවේ සිටි අයුරින්ම, ඔවුහු තමන් සමඟ උන්වහන්සේ ගෙන ගියහ. තවත් ඔරු ද උන්වහන්සේ සමඟ විය.</verse>
				<verse number="37">සැඩ කුණාටුවක් හමා ආවේ ය. ඔරුව තුළට දිය පිරී එය ගිලෙන තරමට රැළි නැංගේ ය.</verse>
				<verse number="38">උන්වහන්සේ ඔරුවේ පසු භාගයේ, මෙට්ටයක් මත නිදා සිටි සේක. ගෝලයෝ උන්වහන්සේ අවදි කරවමින්, “ගුරුතුමනි! අප විනාශ වෙන්නටයි යන්නේ; ඒ ගැන තැකීමක් නැති දැ?” යි උන්වහන්සේට කීහ.</verse>
				<verse number="39">උන්වහන්සේ නැගිට, සුළඟට තරවටු කොට, “නිහඬ වනු! නිසලවනු!” යි මුහුදු රැළට කී සේක. එවිට සුළඟ නැවතිණ. සියල්ල නිසල විය.</verse>
				<verse number="40">උන්වහන්සේ ඔවුන් අමතා, “ඔබ ඔය තරම් බය මොකද? තවමත් ඔබට විශ්වාස නැද්දැ?” යි ඇසූ සේක.</verse>
				<verse number="41">එවිට මහත් බියකින් වෙළුණු ඔවුහු, ඔවුනොවුන් අමතමින්, “මොහු කවරෙක් ද? සුළඟත්, මුහුදත් පවා මොහුට කීකරු වෙතැ!” යි කීහ.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">ඔවුහු මුහුදින් එතෙරව, ගෙරසේනයන්ගේ පෙදෙසට ගියහ.</verse>
				<verse number="2">යේසුස්වහන්සේ ඔරුවෙන් ගොඩ බැස්ස කෙණෙහි, සොහොන් ගුහා අතරින් නික්ම ආ අපවිත්‍ර ආත්මයක් වැහුණු මිනිහෙක් උන්වහන්සේට මුණ ගැසිණි.</verse>
				<verse number="3">ඔහු වාසය කළේ සොහොන් ගුහාවල ය. කිසිවකුටත් ඔහු බැඳ දැමීමට නො හැකි විය; යදමින් පවා බැඳිය නො හැකි විය.</verse>
				<verse number="4">බොහෝ විට ඔහුගේ අත්-පා විලංගු ලා, යදමින් බැඳ තැබූ නමුදු ඔහු මේ යදම් බිඳ, විලංගු කැබලි කර දැම්මේ ය. ඔහු මෙල්ල කිරීමට තරම් ශක්තියක් කිසිවකුටත් නො වීය.</verse>
				<verse number="5">ඔහු දිවා රෑ දෙක්හි සොහොන් ගෙවල් අතරත්, කඳුවලත් මොර ගැසී ය; තියුණු ගල්වලින් තමා කපා ගත්තේ ය.</verse>
				<verse number="6">යේසුස්වහන්සේ පැමිණෙනු ඈතදීම දුටු ඔහු දුව ගොස්, උන්වහන්සේ අබියස වැඳ වැටී,</verse>
				<verse number="7">උස් හඬ නගා කෑ ගසමින්, “මහෝත්තම දෙවියන්වහන්සේගේ පුත්‍ර යේසුස්වහන්ස, ඔබට මගෙන් ඇති කාරිය කිම ද? මට වධ දෙන්නේ නැති වගට දෙවියන්වහන්සේට දිවුරන්නැ” යි කී ය.</verse>
				<verse number="8">මන්ද, “අපවිත්‍ර ආත්මය, මේ මිනිහාගෙන් දුරුවෙනු!” යි යේසුස්වහන්සේ පැවසූ බැවිනි.</verse>
				<verse number="9">“තමාගේ නම කුමක් දැ?” යි යේසුස්වහන්සේ ඔහුගෙන් ඇසූ සේක. හෙතෙම පිළිතුරු දෙමින්, “මගේ නම සේනාවයි. මන්ද අප බොහෝ දෙනෙකැ” යි පැවසී ය.</verse>
				<verse number="10">තවද තමන් එරටින් පිටතට එලවා නො දමන ලෙස ඔහු උන්වහන්සේට කන්නලව් කළේ ය.</verse>
				<verse number="11">මහ ඌරු රැළක් අසල කන්දේ ගොදුරු කමින් වුන්හ.</verse>
				<verse number="12">“ඌරන් අතරට අප යවන්න; උන්ට වැහෙන්නට අපට අවසර දෙන්නැ” යි ඔවුහු උන්වහන්සේගෙන් අයැදියහ.</verse>
				<verse number="13">උන්වහන්සේ ඊට අවසර දුන් කල, අශුද්ධාත්මයෝ පිටතට අවුත්, ඌරු රැළට වැහුණහ. ගණනින් දෙදහසක් පමණ වූ ඌරු රැළ බෑවුම පහළට වේගයෙන් දුව ගොස්, මුහුදේ ගිලී, මළෝ ය.</verse>
				<verse number="14">ඌරු පල්ලෝ වහා දුව ගොස්, නගරයේත්, ගමේත් මේ ගැන පතළ කළහ. කුමක් සිදු වීදැයි බලන්නට ජනයා ඇදී ආහ.</verse>
				<verse number="15">ඔවුහු යේසුස්වහන්සේ වෙත ආ කල, යක්ෂාත්ම වැහී සිටි මිනිහා ඇඳුම් ඇඳ, හොඳ සිහියෙන් යුතුව, වාඩි වී සිටිනු දැක, බය වූහ.</verse>
				<verse number="16">සිද්ධිය ඇසින් දුටුවෝ, යක්ෂාවේශව සිටි මිනිහාට සිදු වූ දේ හා ඌරන්ට සිදු වූ දේ ඔවුන්ට විස්තර කළහ.</verse>
				<verse number="17">එවිට ඔවුහු තම පෙදෙසින් ඉවත්ව යන ලෙස යේසුස්වහන්සේගෙන් අයදින්නට පටන් ගත්හ.</verse>
				<verse number="18">යේසුස්වහන්සේ ඔරුවට ගොඩවෙද්දී, යක්ෂාවේශව සිටි මිනිසා උන්වහන්සේ සමඟ යෑමට අයැදී ය.</verse>
				<verse number="19">ඊට අවසර නුදුන් යේසුස්වහන්සේ ඔහු අමතමින්, “ඔබේ මිතුරන් වෙත ගෙදර ගොස්, ස්වාමින්වහන්සේ ඔබට මොන තරම් දෙයක් කළ සේක් ද කියාත්, උන්වහන්සේ ඔබ කෙරෙහි පෑ දයාව කොතෙක් ද කියාත් ඔවුන්ට කියන්නැ” යි පැවසූ සේක.</verse>
				<verse number="20">ඔහු පිටත්ව ගොස්, යේසුස්වහන්සේ තමාට කළ මහඟු දෑ දෙකපොලිස් පළාත පුරාම පතළ කරන්නට වන්නේ ය. ඒ ඇසූ සියල්ලෝ විස්මපත් වූහ.</verse>
				<verse number="21">යේසුස්වහන්සේ නැවත ඔරුවෙන් එතෙරට ආ කල, මහත් ජනකායක් උන්වහන්සේ වටා රොක් වූහ. උන්වහන්සේ මුහුදු වෙරළේ සිටියදී,</verse>
				<verse number="22">සිනගෝග පාලකයකු වූ යායිරස් නැමැත්තෙක් පැමිණ, උන්වහන්සේ දැක, උන්වහන්සේගේ පාමුල වැටී,</verse>
				<verse number="23">උදක්ම අයදිමින්, “මගේ පුංචි දියණිය මරණාසන්නයි. ඇය සුවය ලබා, ජීවත් වන පිණිස පැමිණ, ඇය පිට ඔබේ අත් තැබුව මැනව” යි ඉල්ලී ය.</verse>
				<verse number="24">උන්වහන්සේ ඔහු සමඟ යන්නට පිටත් වූ සේක. මහා ජන සමූහයක් උන්වහන්සේ පසුපස තෙරපෙමින් ගමන් ගත්හ.</verse>
				<verse number="25">පුරා දොළොස් වසරක් කිලිමාලයෙන් පෙළුණු ස්ත්‍රියක් ද එහි වූවා ය.</verse>
				<verse number="26">බොහෝ වෙදුන් යටතේ නො විඳිනා දුක් විඳි මැය, තමන් සතුව තිබූ සියල්ල වියදම් කළ නමුදු, ඇගේ රෝගී තත්වය උග්‍ර වූවා මිස, සුවය ලද්දේ නැත.</verse>
				<verse number="27">යේසුස්වහන්සේ ගැන ඇසූ ඕ, පිරිස අතරින් පිටුපසින් පැමිණ, උන්වහන්සේගේ සළුවට අත ගැසුවා ය.</verse>
				<verse number="28">එසේ කළේ, “උන්වහන්සේගේ වස්ත්‍රයටවත් අත ගැසුවොත් මා සුව වේ යැ” යි ඇය සිතූ බැවිණි.</verse>
				<verse number="29">එකෙණෙහිම ඇගේ ලේ ගැලීම නැවතිණි; විඳි වේදනාවෙන් තමා නිදහස් වූ වග ඇගේ ගතට දැනිණි.</verse>
				<verse number="30">එකෙණෙහි ආනුභාවය තමන් කෙරෙන් නික්මුණු බව දැනගත් යේසුස්වහන්සේ පිරිස මැද හැරෙමින්, “මගේ වස්ත්‍රයට අත ගැසුවේ කවුරු දැ?” යි ඇසූ සේක.</verse>
				<verse number="31">ගෝලයෝ පිළිතුරු දෙමින්, “සමූහයා ඔබ වටා මෙතරම් තෙරපෙනු දැක-දැකත්, ‘මට අත ගැසුවේ කවුරු ද’ කියා ඔබ අසනවා” යි කීහ.</verse>
				<verse number="32">එහෙත් මෙය කළ අය දැකීමට යේසුස්වහන්සේ අවට බැලූ සේක.</verse>
				<verse number="33">එවිට ඒ ස්ත්‍රිය තමාට සිදු වූ දේ දැන, ඉදිරියට පැමිණ, උන්වහන්සේ පාමුල වැටී, බයින් ගැහි-ගැහී, සම්පූර්ණ සත්‍යය ප්‍රකාශ කළා ය.</verse>
				<verse number="34">එවිට ඇය ඇමතූ උන්වහන්සේ, “දියණිය, ඔබේ ඇදහිල්ල ඔබ සුව කර ඇත; සාමයෙන් යන්න, පීඩාවෙන් සුවය ලබන්නැ” යි පැවසූ සේක.</verse>
				<verse number="35">උන්වහන්සේ එසේ කියද්දීම, සිනගෝග පාලක යායිරස්ගේ නිවසින් ආ ඇතමෙක්, “ඔබේ දියණිය මිය ගියා; තවදුරටත් ගුරු හිමියන් වෙහෙසන්නේ කුමට දැ?” යි කීහ.</verse>
				<verse number="36">ඔවුන් කී දෑ ඇසුණු නමුත් යේසුස්වහන්සේ සිනගෝග පාලකයා අමතා, “බය නො වන්න, විශ්වාසයෙන්ම සිටින්නැ” යි කී සේක.</verse>
				<verse number="37">පේතෘස්, යාකොබ් හා යාකොබ්ගේ සහෝදර යොහන් හැර අන් කිසිවකුට තමන් සමඟ ඒමට උන්වහන්සේ ඉඩ නො දුන් සේක.</verse>
				<verse number="38">ඔවුන් සිනගෝග පාලකයාගේ නිවසට පැමිණි විට, එහි සිටි පිරිස හඬමින් ද වැලපෙමින් ද මහත් කැලඹීමකින් යුතුව සිටිනු යේසුස්වහන්සේ දුටු සේක.</verse>
				<verse number="39">එහි ඇතුළු වූ උන්වහන්සේ ඔවුන් අමතා, “ඇයි මේ කලබැගෑනිය? ඇයි මේ විලාපය? මේ දැරිය නිදනවා විනා මිය ගොස් නැතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="40">එහෙත් ඔවුහු උන්වහන්සේට සිනාසුණහ. ඔවුන් සැවොම පිටතට හැරිය යේසුස්වහන්සේ දැරියගේ මව හා පියා ද උන්වහන්සේ සමඟ සිටි ගෝලයින් ද කැටුව දැරිය සිටි තැනට ගිය සේක.</verse>
				<verse number="41">යේසුස්වහන්සේ ඇගේ අත අල්ලා, “තලිතා කූම්!” යි කී සේක. මෙහි අරුත, “දැරිය නැගිටින්නැයි! මම ඔබට කියමි” යනුයි.</verse>
				<verse number="42">එකෙණෙහිම දැරිය නැගිට, ඇවිදින්නට වූවා ය. ඇය දොළොස් හැවිරිදි වූවා ය. එකෙණෙහි එය දුටු ඔවුහු පුදුමයෙන් පුදුමයට පත් වූහ.</verse>
				<verse number="43">මේ සිදු වූ දෑ කිසිවකුටත් නො පවසන ලෙසට තදින් අණ කළ යේසුස්වහන්සේ, ඇයට කෑමට යමක් දෙන්නැයි ද කී සේක.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">යේසුස්වහන්සේ එතැනින් පිටත්ව, තම ගම් පෙදෙසට පැමිණි සේක. උන්වහන්සේගේ ගෝලයෝ ද උන්වහන්සේ සමඟ ගියහ.</verse>
				<verse number="2">සබතේදී උන්වහන්සේ සිනගෝගයට ගොස්, ඉගැන්වීමට පටන් ගත් සේක. ඒ ඇසූ බොහෝ දෙනෙක් විස්මිත වූහ. “කොහෙන් ද මේ මිනිසා මේ දෑ ලබා ගත්තේ? කුමක් ද මොහුට දී ඇති මේ ප්‍රඥාව? මොහු අතින් කරන බලවත් ක්‍රියා කෙසේ ද?</verse>
				<verse number="3">මේ මරියාගේ පුතා, වඩුවා නො වේ ද? අර යාකොබ්, යෝසෙප්, යූදස් හා සීමොන්ගේ සහෝදරයා නො වේ ද? මොහුගේ සහෝදරියන් සැවොමත් අප අතරේම නො වෙත් දැ?” යි කියමින් ඔවුහු උන්වහන්සේ ගැන බාධා වූහ.</verse>
				<verse number="4">යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “දිවැසිවරයකුට ඔහුගේම ගමේදීත්, තම නෑයින් අතරින් හා ඔහුගේම ගෘහ වාසීන්ගෙන් හැර, ගෞරවය නො ලැබී යන්නේ නැතැ” යි කී සේක.</verse>
				<verse number="5">තම අත තබා එහි සිටි රෝගී ස්වල්ප දෙනකු සුව කිරීම හැර, වෙන කිසි ප්‍රබල ක්‍රියාවක් එහිදී උන්වහන්සේට කළ නො හැකි විය.</verse>
				<verse number="6">ඔවුන්ගේ ඇදහිල්ලේ හීනතාවය ගැන උන්වහන්සේ මවිත වූ සේක. ඉන්පසු යේසුස්වහන්සේ ගමින් ගම සැරි සරමින් ඉගැන්වූ සේක.</verse>
				<verse number="7">උන්වහන්සේ දොළොස් දෙනා කැඳවා, දෙදෙනා බැගින් ඔවුන් යවමින්, අපවිත්‍ර ආත්ම කෙරෙහි ඔවුන්ට බලය දුන් සේක.</verse>
				<verse number="8">උන්වහන්සේ ඔවුන් අමතමින්, “සැරයටියක් මිස රොටීවත්, ගමන් මල්ලක් හෝ ඉඟ පටියේ මුදල් හෝ නො ගෙන යෑමටත්,</verse>
				<verse number="9">පාවහන් පැලඳ, එහෙත් අමතර ඇඳුමක්වත් නො ගෙන යෑමටත්” අණ කළේ ය;</verse>
				<verse number="10">තවද උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ නිවසකට ඇතුළු වන කල, එපෙදෙසින් නික්ම යන තෙක් එහිම නවාතැන් ගන්න.</verse>
				<verse number="11">යම් තැනක ඔබ නො පිළිගැනේ නම් හෝ ඔබට සවන් නො දේ නම්, එතැනින් ඉවත්ව යද්දී, ඔවුන්ට විරුද්ධව සාක්ෂියක් වශයෙන් ඔබේ පා දූලි ගසා දමන්නැ” යි පැවසූ සේක.</verse>
				<verse number="12">එබැවින් ඔවුහු පිටත්ව ගොස්, ජනයා පසුතැවිලි විය යුතු යැයි ප්‍රකාශ කළහ.</verse>
				<verse number="13">ඔවුහු යක්ෂාත්මයන් බොහෝ දෙනකු දුරු කර, රෝගීන් බොහෝ දෙනකු තෙලින් ආලේප කර සුව කළහ.</verse>
				<verse number="14">යේසුස්වහන්සේගේ නාමය ප්‍රසිද්ධ වූයෙන්, හෙරෝද් රජුට ද එය සැල විණි. ඇතැම් දෙනෙක්, “යොහන් බව්තීස්ත මරණින් නැගිට ඇතැයි ද, හාස්කම් බලය ඔහු තුළ ක්‍රියා කරන්නේ එනිසා යැ” යි කීහ.</verse>
				<verse number="15">එහෙත් ඇතැම්හු, “ඔහු දිවැසිවර එලියා” යැයි කීහ. අන් සමහරු, “ආදියේ විසූ දිවැසිවරුන් මෙන් මොහුත් දිවැසිවරයෙකැ” යි ද කීහ.</verse>
				<verse number="16">එහෙත් මේ දෑ ඇසූ හෙරෝද්, “මා හිස ගසා දැමූ යොහන් යළි නැගිටුවනු ලැබ ඇතැ” යි පැවසී ය.</verse>
				<verse number="17">මන්ද යොහන් අල්ලා, සිරගෙයි බැඳ දැමීමට මිනිසුන් යැව්වේ හෙරෝද් ය. ඔහු එසේ කළේ, තම සහෝදර පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් නිසා ය. මන්ද ඔහු ඇය ආවාහ කරගෙන සිටියේ ය.</verse>
				<verse number="18">එබැවින්, “ඔබගේ සහෝදරයාගේ භාර්යාව ගැනීම නිත්‍යානුකූල නැතැ” යි යොහන් හෙරෝද්ට පවසා තිබිණි.</verse>
				<verse number="19">එහෙයින් හෙරෝදියස්, යොහන් ගැන කේන්තියෙන් ඔහු මරා දැමීමට ඉටාගත්තා ය. එහෙත් ඇයට එය කළ නො හැකි වූයේ,</verse>
				<verse number="20">යොහන් දැහැමි, ශුද්ධ මනුෂ්‍යයකු බව දැන, හෙරෝද් ඔහුට බයව, ඔහු ආරක්ෂා කළ නිසා ය. යොහන්ට සවන් දීමේදී හෙරෝද් මහත් සේ ව්‍යාකූල වූ නමුත්, ප්‍රීතියෙන් ඔහුට සවන් දුන්නේ ය.</verse>
				<verse number="21">හෙරෝද් තම උපන් දින, තම අධිපතීන්ට ද හමුදාපතීන්ට හා ගලීලයේ ප්‍රභූවරුන්ට ද සාදයක් පැවැත්වූ කල අවස්ථාව එළැඹිණි.</verse>
				<verse number="22">හෙරෝදියස්ගේ දියණිය පැමිණ, නටා, හෙරෝද් හා සාදයට ආ ඔහුගේ අමුත්තන් පිනවූවාය. රජු දැරිය අමතමින්, “කැමති ඕනෑම දෙයක් මගෙන් ඉල්ලන්න. එය මා ඔබට දෙනවා” යි කීවේ ය.</verse>
				<verse number="23">තවද ඔහු දිවුරමින්, “ඔබ ඉල්ලන ඕනෑම දෙයක්, මාගේ රාජ්‍යයෙන් භාගයක් වුවත් මා ඔබට දෙනවා” යි කීවේ ය.</verse>
				<verse number="24">පිටතට පැමිණි ඕ, “මා කුමක් ඉල්ලන්න දැ?” යි තම මවගෙන් ඇසුවා ය. “යොහන් බව්තීස්තගේ හිස” යයි ඈ කීවා ය.</verse>
				<verse number="25">එකෙණෙහි විගස රජු ඉදිරියට පැමිණි ඈ, “මට ඕනෑ මේ දැන් යොහන් බව්තීස්තගේ හිස තැටියක තබා ඔබ මට දීමයැ” යි ඉල්ලා සිටියා ය.</verse>
				<verse number="26">රජු ඉන් දැඩි සිත් තැවුලට පත් වුව ද අමුත්තන් නිසාත්, තම දිවුරුම් නිසාත් ඇයට දුන් වචනය ප්‍රතික්ෂේප කරන්නට අකමැති විය.</verse>
				<verse number="27">ඔහු එකෙණෙහිම යොහන්ගේ හිස ගෙනෙන ලෙස අණ දී, වධකයකු පිටත් කළේ ය. ඔහු ගොස්, සිරගෙයිදී යොහන්ගේ හිස ගසා,</verse>
				<verse number="28">ඔහුගේ හිස තැටියක තබා ගෙනැවිත් දැරියට දුන්නේ ය. ඈ එය තම මවට දුන්නා ය.</verse>
				<verse number="29">සිදු වූ දෑ ඇසූ යොහන්ගේ ගෝලයෝ පැමිණ, ඔහුගේ දේහය ගෙන ගොස්, සොහොන් ගෙයක තැන්පත් කළහ.</verse>
				<verse number="30">අපෝස්තුලුවරු යේසුස්වහන්සේ වෙත රැස්ව, තමන් කළ දෑ හා ඉගැන්වූ දෑ යන සියල්ල උන්වහන්සේට පැවසූහ.</verse>
				<verse number="31">ඔවුන් ඇමතූ උන්වහන්සේ, “ඔබ පමණක් මා සමඟ හුදෙකලා තැනකට ඇවිත් මඳක් විවේක ගන්නැ” යි කී සේක. මන්ද සමූහයා නිතරම යමින් එමින් සිටි හෙයින්, අහර ගැනීමටවත් අවකාශයක් ඔවුන්ට නො වීය.</verse>
				<verse number="32">එවිට ඔවුහු පමණක් පිටත්ව ඔරුවක නැගී හුදෙකලා තැනකට ගියහ.</verse>
				<verse number="33">එහෙත් ඔවුන් පිටත්ව යනු දුටු බොහෝ දෙනෙක් ඔවුන් හැඳින, සෑම නගරයකම සිට දුව ගොස්, ඔවුන්ට කලින් එහි ළඟා වූහ.</verse>
				<verse number="34">උන්වහන්සේ වෙරළට ගොඩ බැස්ස කල, ඒ විශාල ජනකාය දැක, ඔවුන්ට දයානුකම්පා කළ සේක; මන්ද ඔවුන් එඬේරකු නැති බැටළු රැළක් වැනි වූ බැවිනි. එබැවින් උන්වහන්සේ ඔවුන්ට බොහෝ දෑ උගන්වන්නට වන් සේක.</verse>
				<verse number="35">දවස ගෙවී යමින් තිබියදී, උන්වහන්සේ වෙත පැමිණි ගෝලයෝ, “මේක පාළු පෙදෙසක්, දැනටත් හොඳටම පමා වෙලා;</verse>
				<verse number="36">එනිසා අවට පෙදෙස් හා ගම්වලට ගොස්, කෑමට යමක් මිලදී ගන්නට මේ ජනයා පිටත් කර හරින්නැ” යි කීවෝ ය.</verse>
				<verse number="37">එහෙත් උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබම ඔවුන්ට කෑමට යමක් සපයා දෙන්නැ” යි පැවසූ සේක. ඔවුහු පිළිතුරු දෙමින්, “එසේ නම් අප ගොස්, ඩිනාරි දෙසියයක රොටි මිලයට ගෙන, ඔවුන්ට කෑම සපයා දිය යුතු දැ?” යි ඇසූහ.</verse>
				<verse number="38">එවිට උන්වහන්සේ ඔවුන් අමතමින්, “රොටි කීයක් ඔබ ළඟ තියෙනවා ද? ගොහින් බලන්නැ” යි පැවසූ සේක. ඔවුහු සොයා දැන, “රොටි පහක් හා මසුන් දෙදෙනෙකැ” යි කීහ.</verse>
				<verse number="39">එවිට උන්වහන්සේ ඔවුන් සියල්ලන් කණ්ඩායම් වශයෙන් තණ නිල්ල මත හිඳ වූ සේක.</verse>
				<verse number="40">ඔවුහු පනහ හා සියය බැගින් කණ්ඩායම් වශයෙන් හිඳ ගත්හ.</verse>
				<verse number="41">ඉන්පසු යේසුස්වහන්සේ රොටි පහ සහ මසුන් දෙදෙනා ද ගෙන, ස්වර්ගය දෙස ඉහළ බලා, ආශිර්වාදය පවසා, රොටි කඩා, රැස්ව සිටි අය ඉදිරියේ ඒවා තබන පිණිස, ගෝලයින්ට දුන් සේක. උන්වහන්සේ මසුන් දෙදෙනා ද ඔවුන් සැමට බෙදා දුන් සේක.</verse>
				<verse number="42">සැවොම ඒවා කෑමෙන් තෘප්තියට පත් වූහ.</verse>
				<verse number="43">ඉන්පසු රොටි හා මාළු කැබලිවලින් ඔවුහු කූඩ දොළහක් පිරවූහ.</verse>
				<verse number="44">එහි කෑමට වාඩි වී සිටි පිරිමින් පමණක් පන්දහසක් වූහ.</verse>
				<verse number="45">එකෙණෙහි යේසුස්වහන්සේ, තම ගෝලයින් ඔරුවේ නංවා, තමාට පෙරටුව බෙත්සයිදා වෙත එගොඩ යන්නට සැලසූ සේක. ඒ අතර උන්වහන්සේ සමූහයා විසිරවූ සේක.</verse>
				<verse number="46">ඔවුන් පිටත්ව ගිය පසු, උන්වහන්සේ යාච්ඤා කරන පිණිස, කන්දට නැගුණු සේක.</verse>
				<verse number="47">අඳුර වැටුණු කල ඔරුව මුහුද මැද වූ අතර, උන්වහන්සේ තනිව ගොඩබිමේ වූ සේක.</verse>
				<verse number="48">ගෝලයින් ඔරුව පැදීමට වෙහෙස දරන වග උන්වහන්සේ දුටු සේක; මන්ද සුළඟ හැමුවේ ඔවුන්ට එරෙහිව ය. රාත්‍රි හතර වන යාමයේ උන්වහන්සේ මුහුද මත ඇවිදගෙන, ඔවුන් වෙත ආ සේක. උන්වහන්සේ ඔවුන් පසුකර යන්නට වූ කල,</verse>
				<verse number="49">උන්වහන්සේ මුහුද මත ඇවිදිනු දුටු ඔවුහු ඒ අවතාරයකැයි සිතා කෑ ගසන්නට වන්හ.</verse>
				<verse number="50">මන්ද උන්වහන්සේ දුටු ඒ සැවොම ත්‍රස්තව සිටියහ. එකෙණෙහිම ඔවුන්ට කතා කළ උන්වහන්සේ, “ධෛර්යවත් වන්න! මේ මමයි. බය වන්න එපා” යි කී සේක.</verse>
				<verse number="51">උන්වහන්සේ ඔවුන් සමඟ ඔරුවට ගොඩ වූ කල සුළඟ නැවතිණි. ගෝලයෝ මහත් සේ විස්මිත වූහ.</verse>
				<verse number="52">මන්ද රොටි සම්බන්ධ හාස්කම ඔවුන් වටහා ගෙන තිබුණේ නැත. ඔවුන්ගේ හදවත් දැඩි වී තිබිණි.</verse>
				<verse number="53">මෙතෙර වූ ඔවුහු ගෙන්නසරෙත් පෙදෙසට පැමිණ ඔරුව වෙරළේ නැංගුරම් ලූහ.</verse>
				<verse number="54">ඔවුන් ඔරුවෙන් ගොඩ බැස්ස කෙණෙහි ජනයා යේසුස්වහන්සේ හැඳින ගත්හ.</verse>
				<verse number="55">ඔවුහු මුළු පෙදෙස පුරා දුව ඇවිද, උන්වහන්සේ යම් තැනකට ගියායැයි සැල වූ හැම තැනකට, රෝගීන් සිටි යහන් පිටින් ඔවුන් රැගෙන ගියහ.</verse>
				<verse number="56">යේසුස්වහන්සේ ගිය යම් ගමක්, නගරයක් හෝ පෙදෙසක් වී ද, ජනයා රෝගීන් කඩ-මණ්ඩිවල තබා, උන්වහන්සේගේ සළුවේ වාටියට පමණක්වත් අත ගසන්නට ඔවුනට ඉඩ දෙන මෙන් අයැද සිටියහ. උන්වහන්සේට අත ගැසූ සැවොම සුවය ලදහ.</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">පරිසිවරු හා යෙරුසලමෙන් පැමිණි දහම් පඬිවරු ඇතැම් දෙනෙක් උන්වහන්සේ වෙත රැස් වූ කල,</verse>
				<verse number="2">උන්වහන්සේගේ ගෝලයන්ගෙන් ඇතැම් දෙනකු අපවිත්‍ර අත්වලින්, එනම් අත් නො සෝදා අහර ගන්නා වග දුටුවහ.</verse>
				<verse number="3">පරිසිවරුන් හා සියලු යුදෙව්වන්, වැඩිහිටියන්ගේ සම්ප්‍රදාය අනුව තම අත් සෝදා මිස, අහර ගන්නේ නැත.</verse>
				<verse number="4">තවද වෙළඳ පොළේ සිට ආ විටෙක සෝදා මිස, ඔවුන් අහර ගන්නේ නැත. කෝප්ප, වළං හා ලෝහ භාජන සේදීම වැනි ඔවුන් පිළිපදින තවත් සම්ප්‍රදායයන් බොහොමයක් වෙයි.</verse>
				<verse number="5">එහෙයින් පරිසිවරු හා දහම් පඬිවරු උන්වහන්සේ අමතමින්, “ඔබගේ ගෝලයින් වැඩිහිටියන්ගේ සම්ප්‍රදායයන් අනුව නො පැවත, අපවිත්‍ර අත්වලින් අහර ගන්නේ ඇයි දැ?” යි ප්‍රශ්න කළහ.</verse>
				<verse number="6">උන්වහන්සේ පිළිතුරු දෙමින්, “වංචනිකයින් වූ නුඹලා ගැන යෙසායා දිවැසි වැකියෙන් කියා ඇති දෑ අගෙයි; එය ලියවී ඇත්තේ මෙසේයි: “ ‘මේ ජනයා තම තොල්වලින් මට ගෞරව කරති; එහෙත් ඔවුන්ගේ හදවත්, මා වෙතින් බොහෝ ඈත ය.</verse>
				<verse number="7">මිනිසුන්ගේ ආඥා, ධර්මය ලෙස උගන්වමින්, ඔවුන් මට නමස්කාර කරන්නේ නිකරුණේ ය.’</verse>
				<verse number="8">නුඹලා දෙවියන්වහන්සේගේ ආඥා ඉවත ලා, මිනිසුන්ගේ සම්ප්‍රදායයන්වල එල්ලෙනවා යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="9">තවද උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබේ සම්ප්‍රදායයන් ස්ථාපිත කර ගන්නට දෙවියන්වහන්සේගේ ආඥා ප්‍රතික්ෂේප කිරීමට අපූරු මාර්ගයක්නේ ඔබට තියෙන්නේ.</verse>
				<verse number="10">මන්ද මෝසෙස් පවසා ඇත්තේ, ‘ඔබේ පියාටත්, ඔබේ මවටත් ගෞරව කරන්න’ කියා හා ‘තම පියාට හෝ මවට ශාප කරන කවරකු වුව මරණයට පත් කළ යුතු ය’ කියා ය.</verse>
				<verse number="11">එහෙත් නුඹලා කියන්නේ මිනිසකු තම පියාට හෝ මවට කතා කොට, ‘ඔබට දෙන්නට තිබෙන යමක් වේ ද, එය කොර්බාන්’ (එනම් දෙවියන්වහන්සේට කැප කළ පඬුරකි) කියයි නම්,</verse>
				<verse number="12">එතැන් පටන් ඔහුගේ පියාට හෝ මවට කිසිම දෙයකින් උදවු කිරීමට නුඹලා ඉඩ දෙන්නේ නැත.</verse>
				<verse number="13">මෙලෙස නුඹලාම පවරනු ලබන නුඹලාගේ සම්ප්‍රදායයන් උදෙසා දෙවියන්වහන්සේගේ වචනය අවලංගු කරන නුඹලා තවත් මෙවැනි බොහෝ දෑ ද කරති” යි පැවසූ සේක.</verse>
				<verse number="14">යළි ජන සමූහයා තමන් වෙත කැඳවූ උන්වහන්සේ ඔවුන් අමතා, “ඔබ සැවොම මට සවන් දී, මෙය තේරුම් ගන්න!</verse>
				<verse number="15">පිටතින් මිනිසා තුළට ඇතුළු වන කිසි දෙයකට ඔහු අපවිත්‍ර කළ නො හැක. ඔහු අපවිත්‍ර කෙරෙන්නේ, ඔහු තුළින් පිටවන දෙයිනි.</verse>
				<verse number="16">අසන්නට කන් ඇත්තේ කවරකුට ද, ඔහු අසත්වා!”යි පැවසූ සේක.</verse>
				<verse number="17">උන්වහන්සේ ජනයා වෙතින් ඉවත්ව, නිවසට ඇතුළු වූ පසු, ගෝලයෝ උන්වහන්සේගෙන් එම උපමාව ගැන විමසූහ.</verse>
				<verse number="18">එවිට උන්වහන්සේ, “තවමත් ඔබට වැටහෙන්නේ නැති ද? පිටතින් මිනිසා තුළට ඇතුළු වන කිසිවකට ඔහු අපවිත්‍ර කළ නො හැකි වග ඔබට පෙනෙන්නේ නැති ද?</verse>
				<verse number="19">ඒවා ඇතුළු වන්නේ ඔහුගේ හදවතට නො ව, උදරයටයි; පසුව එය වැසිකිළියට බැහැරව යතැ” යි ඔවුන්ට කී සේක. (මෙසේ කීමෙන් යේසුස්වහන්සේ ප්‍රකාශ කළේ සෑම ආහාරයක් ම පවිත්‍ර බව ය.)</verse>
				<verse number="20">තවද උන්වහන්සේ, “කෙනකු අපවිත්‍ර කෙරෙන්නේ ඔහු තුළින් පිටවන දෙයින්ම ය.</verse>
				<verse number="21">මන්ද දුෂ්ට සිතිවිලි, ලිංගික අපචාර, සොරකම්, මිනී මැරුම්, පරදාර සේවනය,</verse>
				<verse number="22">තණ්හාව, දුෂ්ටකම, වංචාව, අනුරාගය, ඊර්ෂ්‍යාව, නින්දා අපහාස, උඩඟුකම හා මෝඩකම යන දෑ පැමිණෙන්නේ ඇතුළාන්තයෙනි; මිනිසාගේ හදවතෙනි.</verse>
				<verse number="23">මේ සියලු නපුරු දෑ එන්නේ ඇතුළාන්තයෙන් ය; ඒවායින් මිනිසා අපවිත්‍ර වන්නේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="24">යේසුස්වහන්සේ එතැනින් පිටත්ව, තීර් පෙදෙසට පැමිණි සේක්, නිවසකට පිවිසි සේක. කිසිවකුත් එය දැන ගන්නවාට උන්වහන්සේ කැමති නො වූ නමුත්, සැඟවී සිටීමට උන්වහන්සේට නො හැකි විය.</verse>
				<verse number="25">අපවිත්‍ර ආත්මයක් ආවේශ වූ කුඩා දියණියක සිටි ස්ත්‍රියක් උන්වහන්සේ ගැන ඇසූ කෙණෙහි පැමිණ, උන්වහන්සේගේ පාමුල වැටුණා ය.</verse>
				<verse number="26">සිරෝ-පිනිසියානු ග්‍රීක ස්ත්‍රියක වූ ඕ, තම දියණියගෙන් යක්ෂාත්මය දුරු කරදෙන මෙන් උන්වහන්සේගෙන් අයැද සිටියා ය.</verse>
				<verse number="27">ඇය ඇමතූ උන්වහන්සේ, “පළමුව දරුවෝ කා තෘප්තියට පැමිණෙත්වා. දරුවන්ගේ රොටි ගෙන, බල්ලන්ට දැමීම යුතු නැතැ” යි කී සේක.</verse>
				<verse number="28">ඈ පිළිතුරු දෙමින්, “එසේය ස්වාමිනි, එහෙත් බල්ලෝ වුවත් දරුවන්ගෙන් වැටෙන අහර කැබලි මේසය යට සිට අවුලා කති” යි උන්වහන්සේට කීවා ය.</verse>
				<verse number="29">එවිට උන්වහන්සේ, “ඔබගේ ඒ කියමන නිසා යන්න; ඔබේ දියණිය වෙතින් යක්ෂාත්මය දුරුව ගියේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="30">ඈ පෙරළා නිවසට පැමිණි කල, ඇගේ දියණිය සයනයේ වැතිර සිටිනු දුටුවා ය. යක්ෂාත්මය දුරු වී තිබිණි.</verse>
				<verse number="31">ඉන්පසු උන්වහන්සේ තීර් පෙදෙසින් නික්ම, සීදොන් මැදින් ගොස්, දෙකපොලිස් පෙදෙසේ ගලීල මුහුද වෙත පැමිණි සේක.</verse>
				<verse number="32">ඔවුහු යේසුස්වහන්සේ වෙත, බිහිරි වූ ද කතා කිරීමට අපහසු වූ ද මිනිසකු ගෙනැවිත්, ඔහුට අත ගසන මෙන් අයැදියහ.</verse>
				<verse number="33">සමූහයා වෙතින් ඔහු වෙන් කර, ඉවතට ගත් උන්වහන්සේ ඔහුගේ කන් තුළ තම ඇඟිලි දමා, කෙළ ගසා, ඔහුගේ දිව ස්පර්ශ කළ සේක්,</verse>
				<verse number="34">ස්වර්ගය දෙස බලා දිගු සුසුමක් හෙළා, “එප්පාතා!” යි ඔහුට පැවසූ සේක. එහි අරුත “විවර වනු!” යන්න ය.</verse>
				<verse number="35">එවිට ඒ මිනිසාගේ කන් ඇරුණේ ය. දිවේ ගොතය ලිහුණේ ය. ඔහු සාමාන්‍ය ලෙස කතා කරන්නට වන්නේ ය.</verse>
				<verse number="36">කිසිවකුට එය නො කියන ලෙස යේසුස්වහන්සේ ඔවුන්ට අණ කළ සේක. එහෙත් උන්වහන්සේ තහනම් කළ පමණට වඩා වැඩි උනන්දුවෙන් ඔවුහු එය පතළ කළහ.</verse>
				<verse number="37">මෙයින් අතිශය විස්මයට පත් ඔවුහු, “මෙතුමා කරන හැම දෙයක්ම අපූරුයි; එතුමා බිහිරන්ට ඇසෙන්නට සලස්වා, ගොළුවන්ට කතා කරන්නට සලස්වන සේකැ” යි පැවසූහ.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">එදවස්හි යළි මහ ජන සමූහයක් රැස් වූ කල, ඔවුනට කෑමට කිසිවක් නො තිබුණෙන්, තම ගෝලයින් තමන් වෙත කැඳවූ උන්වහන්සේ ඔවුන් අමතමින්,</verse>
				<verse number="2">“මේ සමූහයා ගැන මම අනුකම්පා ඇත්තෙමි. දැන් දවස් තුනක් ඔවුන් සිටියේ මා සමඟයි; ඔවුන්ට කෑමට කිසිවක් නැහැ.</verse>
				<verse number="3">කුසගින්නේ මා ඔවුන්ගේ ගෙවලට පිටත් කර හැරියොත් අතරමඟ දී ඔවුන් ක්ලාන්ත වේවි. ඔවුන්ගෙන් ඇතැම් දෙනකු පැමිණ ඇත්තේ දුර බැහැර ඉඳන්” යැයි කී සේක.</verse>
				<verse number="4">උන්වහන්සේගේ ගෝලයෝ පිළිතුරු දෙමින්, “මෙතරම් සමූහයකට කන්නට මේ පාළු පෙදෙසින් කොහොම රොටි සොයන්න දැ?” යි කීහ.</verse>
				<verse number="5">“ඔබ ළඟ කොපමණ රොටි තිබේ දැ?” යි යේසුස්වහන්සේ ඇසූ සේක. “හතකි” යි ඔවුහු කීහ.</verse>
				<verse number="6">ජන සමූහයාට බිම ඉඳගන්නා ලෙස අණ කළ උන්වහන්සේ, රොටි හත ගෙන, ස්තුති දී, ඒවා කඩා, ගෝලයින්ට දුන්නේ, සෙනඟ ඉදිරියේ ඒවා තබන පිණිස ය. ගෝලයෝ ඒවා සමූහයා ඉදිරියේ තැබූහ.</verse>
				<verse number="7">ඔවුන් වෙත කුඩා මසුන් ස්වල්ප දෙනෙක් ද වූ හෙයින් යේසුස්වහන්සේ ඒවා ද ගෙන, ඊට ආශිර්වාද කර, ඔවුන් ඉදිරියේ තබන්නැයි කී සේක.</verse>
				<verse number="8">ජන සමූහයා අනුභව කොට, සෑහීමට පැමිණි පසු ඉතිරි වූ කැබලිවලින් ඔවුහු ලොකු කූඩ හතක් පුරවා ගත්හ.</verse>
				<verse number="9">එහි හාරදහසක් පමණ පිරිසක් වූහ. උන්වහන්සේ ඔවුන් පිටත් කර හැරිය සේක.</verse>
				<verse number="10">එකෙණෙහිම උන්වහන්සේ තම ගෝලයින් සමඟ ඔරුවේ නැගී දල්මනූතා පෙදෙසට ගිය සේක.</verse>
				<verse number="11">පරිසිවරු පැමිණ, උන්වහන්සේ පරීක්ෂා කරන පිණිස ස්වර්ගයෙන් ලකුණක් ඉල්ලා උන්වහන්සේ සමඟ වාද කරන්නට වූහ.</verse>
				<verse number="12">උන්වහන්සේ තම ආත්මයෙන් දැඩි සේ සුසුම් ලා, “මේ පරම්පරාව ලකුණක් ඉල්ලා සිටින්නේ මන්ද? සැබවින් ම, මම ඔබට කියමි. මේ පරම්පරාවට ලකුණක් දෙනු නො ලැබේ” යි පැවසූ සේක.</verse>
				<verse number="13">උන්වහන්සේ ඔවුන් අත්හැර, නැවත ඔරුවට නැගී එතෙරට ගිය සේක.</verse>
				<verse number="14">රොටි ගෙන යන්නට ගෝලයින්ට අමතක වී තිබිණ. ඔවුන් වෙත ඔරුවේ වූයේ එක රොටියක් පමණි.</verse>
				<verse number="15">උන්වහන්සේ ඔවුන්ට අවවාද කරමින්, “බලාගෙනයි! පරිසිවරුන්ගේ මුහුන්වලින් හා හෙරෝද්ගේ මුහුන්වලින් පරෙස්සම් වන්නැ” යි කී සේක.</verse>
				<verse number="16">ඔවුහු තම තමන් අතරේ කතා කරමින්, “මේ නම් අප ළඟ රොටි නැති නිසයි” කීහ.</verse>
				<verse number="17">යේසුස්වහන්සේ ඔවුන්ගේ කතා බහ දැන, “රොටි නැති වග ඔබ අතරේ කතා වන්නේ ඇයි? තවමත් ඔබ දන්නේ නැති ද? වැටහෙන්නේ නැති ද? ඔබගේ හදවත් දැඩි වෙලා ද?</verse>
				<verse number="18">ඇස් තිබියදීත් ඔබට පෙනෙන්නේ නැති ද? කන් තිබියදීත් ඔබට ඇහෙන්නේ නැති ද? ඔබට මතක නැද්ද?</verse>
				<verse number="19">මා රොටි පහක් කඩා පන්දහසකට දුන් විට ඉතිරි කැබලිවලින් ඔබ කූඩ කීයක් පුරවා ගත්තා දැ?” යි ඇසූ සේක. “දොළහකැ” යි ඔවුහු පිළිතුරු දුන්හ.</verse>
				<verse number="20">“රොටි සතක් හාර දහසකට දී ඉතිරි කැබලිවලින් ඔබ ලොකු කූඩ කීයක් පුරවා ගත්තා දැ?” යි ඇසූ සේක. ඔවුහු “හතකැ” යි කීහ.</verse>
				<verse number="21">“තවමත් ඔබට වැටහෙන්නේ නැද්දැ?” යි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක.</verse>
				<verse number="22">ඉන්පසු ඔවුහු බෙත්සයිදා වෙත පැමිණියහ. අන්ධයකු කැඳවාගෙන ආ ඇතැම් දෙනෙක්, ඔහු පිට අත තබන මෙන් උන්වහන්සේගෙන් අයැද සිටියහ.</verse>
				<verse number="23">උන්වහන්සේ අන්ධ මිනිසා අතින් අල්ලා, ගමින් පිටතට ගෙන ගොස්, ඔහුගේ ඇස්වල කෙළ තවරා, ඔහු පිට අත තබා, “ඔබට කිසිවක් පෙනේ දැ?” යි ඇසූ සේක.</verse>
				<verse number="24">ඔහු ඇස් ඔසවා බලමින්, “මට මිනිසුන් පෙනේ; ඔවුන් ඇවිදින ගස් වගේ පෙනේ යැ” යි පිළිතුරු දුන්නේ ය.</verse>
				<verse number="25">උන්වහන්සේ යළිත් ඔහුගේ ඇස් මත අත තැබූ සේක. එවිට ඔහුගේ ඇස් ඇරී, ඕනෑකමින් බැලූ ඔහු පෙනීම ආපසු ලැබ, සියල්ල පැහැදිලි ලෙස දැක්කේ ය.</verse>
				<verse number="26">උන්වහන්සේ ඔහු ගෙදර යවමින්, “ගමට ඇතුළු වන්නවත් එපා” යි කී සේක.</verse>
				<verse number="27">යේසුස්වහන්සේ තම ගෝලයින් සමඟ පිලිප්පි කායිසාරියේ ගම්වලට ගිය සේක. මඟදී උන්වහන්සේ ඔවුන් අමතා, “ජනයා කියන්නේ මා කවුරු ය කියා දැ?” යි ඇසූ සේක.</verse>
				<verse number="28">ඔවුහු පිළිතුරු දෙමින්, “සමහරුන් කියන්නේ යොහන් බව්තීස්ත ය කියා ය; අන් සමහරු කියන්නේ එලියා ය කියා ය; සෙසු අය දිවැසිවරුන්ගෙන් කෙනෙකි කියා යැ” යි පැවසූහ.</verse>
				<verse number="29">“හොඳයි, ඔබ කියන්නේ මා කවරෙක් ය කියා දැ?” යි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. පේතෘස් පිළිතුරු දෙමින්, “ඔබවහන්සේ ක්‍රිස්තුස්වහන්සේ” යි කීවේ ය.</verse>
				<verse number="30">කිසිවකුටත් තමන් ගැන නො කියන ලෙස, උන්වහන්සේ ඔවුන්ට තරයේම නියෝග කළ සේක.</verse>
				<verse number="31">ඉන්පසු උන්වහන්සේ, මනුෂ්‍ය පුත්‍රයා බොහෝ දුක් විඳින්නටත්, වැඩිහිටියන් ද නායක පූජකයින් ද දහම් පඬිවරුන් ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නටත්, මරනු ලබන්නටත්, තුන් දවසකට පසු, නැවත නැගිටින්නටත් යුතුව ඇති වග ඔවුන්ට උගන්වන්නට වන් සේක.</verse>
				<verse number="32">උන්වහන්සේ පැහැදිලිව එසේ කී කළ, පේතෘස් උන්වහන්සේ පසෙකට කැඳවා, උන්වහන්සේට තරවටු කරන්නට විය.</verse>
				<verse number="33">එහෙත් හැරී, තම ගෝලයින් දෙස බැලූ උන්වහන්සේ පේතෘස්ට තරවටු කරමින්, “සාතන් මා පස්සට යව! නුඹ නුඹේ මනස යොමු කර ඇත්තේ දෙවියන්වහන්සේගේ කාරණා ගැන නො වේ; මිනිසුන්ගේ කාරණා ගැන යැ” යි කී සේක.</verse>
				<verse number="34">පසුව සමූහයා ද තම ගෝලයින් ද තමා වෙත කැඳවූ උන්වහන්සේ, “යම් කෙනෙක් මා අනුව එන්නට කැමති නම්, ඔහු තමාම ප්‍රතික්ෂේප කර, තම කුරුසිය ගෙන, මා අනුව එත්වා.</verse>
				<verse number="35">මන්ද තම ජීවිතය රැක ගන්නට සොයන්නා, එය අහිමි කරගනී; එහෙත් මා නිසාත්, ශුභාරංචිය නිසාත් සිය ජීවිතය නැති කරගන්නා, එය රැකගනී.</verse>
				<verse number="36">යමෙක් මුළු ලොවම දිනාගත් නමුදු තම ජීවිතය නැති කරගනී නම්, ඉන් ඔහුට ඇති පලය කුමක් ද?</verse>
				<verse number="37">තම ජීවිතය වෙනුවට කෙනකුට හුවමාරු කර ගත හැක්කේ කුමක් ද?</verse>
				<verse number="38">මේ පරදාරික, පාපිෂ්ඨ පරම්පරාවේ යමෙක් මා ගැනත්, මාගේ වචන ගැනත් ලජ්ජා වන්නේ නම්, මනුෂ්‍ය පුත්‍රයාණන් ද තම පියාණන්ගේ තේජසින් ද, තම ශුද්ධ දේව දූතයින් ද සමඟ එන කල, ඒ තැනැත්තා ගැන ලජ්ජා වනු ඇතැ” යි පැවසූ සේක.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">උන්වහන්සේ ඔවුන් අමතමින්, “සැබවින් ම, මම ඔබට කියමි; දෙවියන්වහන්සේගේ රාජ්‍යය, බලයෙන් යුක්තව පැමිණ තිබෙන බව දකින තුරු, දැන් මෙහි සිටගෙන සිටින්නන්ගෙන් ඇතමෙක් මරණය නො විඳින්නේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="2">දින හයකට පසු, යේසුස්වහන්සේ පේතෘස්, යාකොබ් හා යොහන් පමණක් වෙන් කොට කැඳවාගෙන උස් කන්දකට ගිය සේක. උන්වහන්සේ එහිදී ඔවුන් ඉදිරියේ අන් ස්වරූපයක් වූ සේක.</verse>
				<verse number="3">උන්වහන්සේගේ වස්ත්‍ර දිදුලන තද සුදකින් බැබළුණේ, මෙලොව කිසි අපුල්ලන්නෙකුටවත් සුදු කළ නො හැකි තරමිනි.</verse>
				<verse number="4">තවද එහිදී එලියා හා මෝසෙස් ඔවුන්ට පෙනුණේ ය. ඔවුන් සිටියේ යේසුස්වහන්සේ සමඟ කතා කරමිනි.</verse>
				<verse number="5">පේතෘස්, යේසුස්වහන්සේට කතා කොට, “රබ්බී, මෙහි සිටීම අපට හොඳයි! අපි කූඩාරම් තුනක් හදමු; ඔබට එකක්, මෝස‍ෙස්ට එකක්, එලියාට එකක්” යැයි කීවේ ය.</verse>
				<verse number="6">මන්ද කුමක් කිව යුතු ද කියා ඔහු නො දත්තේ ය. ඔවුන් සිටියේ එතරම් ත්‍රස්තව ය.</verse>
				<verse number="7">එවිට වලාකුළක් පැමිණ ඔවුන් වසා ගත්තේ ය: “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයා ය. එතුමාණන්ට සවන් දෙනු” යි වලාකුළින් කටහඬක් නික්ම ආයේ ය.</verse>
				<verse number="8">සැණෙක අවට බැලූ කල, යේසුස්වහන්සේ හැර අන් කිසිවකු තමන් සමඟ සිටිනු ඔවුන් දුටුවේ නැත.</verse>
				<verse number="9">කන්දෙන් බැස එන කල ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, මනුෂ්‍ය පුත්‍රයාණන් මළවුන්ගෙන් නැගිටින තෙක් ඔවුන් දුටු දෑ කිසිවකුට නො කියන ලෙස අණ කළ සේක.</verse>
				<verse number="10">ඒ කාරණය තමන් අතරේ පමණක් තබාගත් ඔවුහු, මළවුන්ගෙන් නැගිටීම යනු කුමක් විය හැකිදැයි ඔවුනොවුන් අතරේ ප්‍රශ්න කර ගත්හ.</verse>
				<verse number="11">ඔවුහු උන්වහන්සේ අමතමින්, “එසේ නම්, පළමු කොට එලියා පැමිණිය යුතු යැයි දහම් පඬිවරුන් කියන්නේ මන්දැ?” යි ඇසූහ.</verse>
				<verse number="12">උන්වහන්සේ පිළිතුරු දෙමින්, “සැබවින් ම එලියා පළමුවෙන් පැමිණ සියල්ල යළි පිහිටුවයි. එසේ නම්, මනුෂ්‍ය පුත්‍රයා බොහෝ වේදනා විඳිය යුතු වගත්, ප්‍රතික්ෂේප කොට සලකනු ලැබිය යුතු වගත් ලියා ඇත්තේ කොහොම ද?</verse>
				<verse number="13">එහෙත් මා ඔබට කියන්නේ එලියා පැමිණි ඇති බවයි; ඔහු ගැන ලියා ඇති පරිදි, ඔවුන් තමන්ට කැමති හැම දෙයක්ම ඔහුට කළේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="14">ඔවුහු අනෙක් ගෝලයින් වෙත ආ කල, ඔවුන් වටා මහත් ජන සමූහයක් සිටිනු ද දහම් පඬිවරුන් ඔවුන් සමඟ වාද කරමින් සිටිනු ද දුටුවහ.</verse>
				<verse number="15">යේසුස්වහන්සේ දුටු ජන සමූහයා, එසැණේම මහත් සේ විස්මිතව උන්වහන්සේට ආචාර කිරීමට දිවූහ.</verse>
				<verse number="16">“ඔබ ඔවුන් සමඟ වාද කරන්නේ කුමක් ගැන දැ?” යි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක.</verse>
				<verse number="17">පිරිසෙන් කෙනෙක් පිළිතුරු දෙමින්, “ගුරුතුමනි, මාගේ පුතා මා ඔබ වෙත ගෙනාවා. ඔහු ගොළු කරවන ආත්මයක් ඔහුට වැහිලා.</verse>
				<verse number="18">ඒ ආත්මය ඔහු අල්ලාගත් හැම විටෙක, ඔහු බිම හෙළනු ලබයි; එවිට ඔහු කටින් පෙණ දමා, දත්මිටි කයි; දර දඬු වෙයි. ඌ දුරු කරන මෙන් ඔබගේ ගෝලයන්ගෙන් මා ඉල්ලූ නමුත්, ඔවුන්ට එය කළ නො හැකි වී යැ” යි කීවේ ය.</verse>
				<verse number="19">උන්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “අහෝ! ඇදහිලි හීන හිතුවක්කාර පරම්පරාව, තව කොතෙක් කලක් මා ඔබ සමඟ සිටින්න ද? තව කොතෙක් කල් ඔබ ගැන ඉවසා සිටින්න ද? ඔහු මා ළඟට ගෙනෙන්නැ” යි කී සේක.</verse>
				<verse number="20">ඔවුහු උන්වහන්සේ වෙත දරුවා ගෙනාවෝ ය. උන්වහන්සේ දුටු සැණෙක, ඒ ආත්මය කොලුවා වෙවුල වීය. බිම ඇද වැටුණු දරුවා කටින් පෙණ දමමින් පෙරළෙන්නට විය.</verse>
				<verse number="21">යේසුස්වහන්සේ පියා අමතා, “මොහුට මෙය සිදුවන්නට වී කොපමණ කාලයක් දැ?” යි ඇසූ සේක. ඔහු පිළිතුරු දෙමින්, “ළමා අවදියේ සිට ය.</verse>
				<verse number="22">ඔහු විනාශ කරන පිණිස ආත්මය ඔහු නිතර ගින්නේ ද වතුරේ ද හෙළයි. එහෙත්, ඔබට යමක් කළ හැකි නම් අපට අනුකම්පා කර, උපකාර කරන්නැ” යි කීවේ ය.</verse>
				<verse number="23">“ඔබට හැකි නම්!” කී යේසුස්වහන්සේ, “විශ්වාස කරන්නාට සියල්ල හැකි යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="24">එවිට, “මම විශ්වාස කරමි; මගේ විශ්වාසය නැතිකම ගැන මට පිහිට වුව මැනව” යි දරුවාගේ පියා මොර ගා කීවේ ය.</verse>
				<verse number="25">සමූහයා එක්ව දුවගෙන එනු දුටු යේසුස්වහන්සේ, අපවිත්‍ර ආත්මයට තරවටු කරමින්, “ගොළු බිහිරි ආත්මය, මොහුගෙන් ඉවතට එනු; යළි කිසි දින ඔහුට ඇතුළු නො වනු කියා මම නුඹට අණ කරමි” යි පැවසූ සේක.</verse>
				<verse number="26">එවිට ඌ කෑ ගසා, සැහැසිව දරුවා වෙවුලවා, පිටතට ආයේ ය. දරුවා මළ කඳක් සේ විය. “ඔහු මැරිලා” යි බොහෝ දෙනෙක් කීහ.</verse>
				<verse number="27">එහෙත් යේසුස්වහන්සේ ඔහුගේ අතින් අල්ලා, එසවූ කල ඔහු සිට ගත්තේ ය.</verse>
				<verse number="28">උන්වහන්සේ නිවසට පිවිසි කල ගෝලයෝ, “අපට ඌ දුරු කළ නො හැකි වූයේ ඇයි දැ?” යි පෞද්ගලිකව උන්වහන්සේගෙන් ඇසූහ.</verse>
				<verse number="29">උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මේ වර්ගය යාච්ඤාවෙන් මිස, අන් හැටියකින් දුරු කළ හැකි නො වේ” යි පැවසූ සේක.</verse>
				<verse number="30">ඔවුහු එතැනින් පිටත්ව ගලීලය මැදින් ගමන් ගත්හ. ඒ වග කිසිවකුත් දැන ගන්නවාට උන්වහන්සේ කැමති නො වූ සේක.</verse>
				<verse number="31">මන්ද උන්වහන්සේ තම ගෝලයින්ට උගන්වමින්, “මනුෂ්‍ය පුත්‍රයා මිනිසුන්ගේ අත්වලට පාවා දෙනු ලබනු ඇත. ඔවුහු උන්වහන්සේ මරා දමති. මරණින් තුන් දිනකට පසු, උන්වහන්සේ නැගිටිනු ඇතැ” යි පවසමින් සිටි බැවිනි.</verse>
				<verse number="32">එහෙත් උන්වහන්සේ කී දේ ඔවුන්ට වැටහුණේ නැත. ඒ කියමන ගැන උන්වහන්සේගෙන් අසන්නට ද ඔවුහු බය වූහ.</verse>
				<verse number="33">ඔවුහු කපර්ණවුමට පැමිණියහ. නිවසේ සිටියදී උන්වහන්සේ ඔවුන් අමතමින්, “මඟදී ඔබ වාද කළේ කුමක් ගැන දැ?” යි ඇසූ සේක.</verse>
				<verse number="34">එහෙත් ඔවුහු නිහඬව සිටියහ. එසේ කළේ තමන් අතර වඩාත් උත්තමයා කවුරුදැයි මඟදී ඔවුන් වාද කළ බැවිනි.</verse>
				<verse number="35">යේසුස්වහන්සේ වාඩි වී, දොළොස් දෙනා කැඳවා, ඔවුන් අමතමින්, “යමකුට ප්‍රථමයා වන්නට ඕනෑ නම්, ඔහු සියල්ලන්ගේ අන්තිමයා ද සැමගේ සේවකයා ද විය යුතු යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="36">උන්වහන්සේ කුඩා දරුවකු ඔවුන් අතරේ සිටුවා, ඔහු වඩාගෙන, ඔවුන් අමතා,</verse>
				<verse number="37">“මාගේ නාමයෙන් මේ දරුවන්ගෙන් කෙනකු පිළිගන්නා යමෙක් වේ ද, ඔහු මා පිළිගනියි. මා පිළිගන්නා යමෙක් වේ ද, ඔහු පිළිගන්නේ මා නො ව මා එවූ තැනැන්වහන්සේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="38">යොහන් කතා කරමින්, “ගුරුතුමනි, කෙනෙක් ඔබගේ නාමයෙන් යක්ෂාත්මයන් දුරු කරනු අප දැක්කා; මන්ද ඔහු අපේ පිරිසේ කෙනෙක් නො වන නිසා අප ඔහු වළක්වන්න හැදුවා” යි කීවේ ය.</verse>
				<verse number="39">එවිට යේසුස්වහන්සේ, “ඔහු නවතන්න එපා! මාගේ නාමයෙන් ප්‍රබල ක්‍රියාවක් කරන කවරකුට වුව ඊළඟ මොහොතේ මා ගැන නරකක් කියන්නට නුපුළුවන.</verse>
				<verse number="40">මන්ද අපට විරුද්ධ නැති තැනැත්තා අපේ පැත්තේ ය.</verse>
				<verse number="41">සැබවින් ම මා ඔබට කියන්නේ, ඔබ ක්‍රිස්තුස්වහන්සේට අයිති නිසා, යමෙක් ඔබට බොන්නට වතුර කෝප්පයක් දුන්නේ නම්, එහි පල විපාක ඔහුට නැති නො වන්නේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="42">“තවද මා තුළ විශ්වාස කරන මේ කුඩාවුන්ගෙන් කෙනකු පාපයට පොලඹවන කෙනෙක් වේ ද, ඔහුගේ ගෙල වටා ලොකු ඇඹරුම් ගලක් එල්ලා, මුහුදේ හෙළනු ලැබීම ඔහුට වඩාත් හොඳ ය.</verse>
				<verse number="43">ඔබගේ අත, පාපයට ඔබ පොලඹවයි නම්, එය කපා වෙන් කර දමන්න. මන්ද අබ්බගාතව ජීවනයට ඇතුළු වීම, දෑත් ඇතිව නො නිවෙන ගින්නක් ඇති නිරයට යෑමට වඩා හොඳ ය.</verse>
				<verse number="44">එහිදී, ඔවුන්ගේ පණුවා නසින්නේ නැත. ඔවුන්ගේ ගින්න නිවෙන්නේ නැත.</verse>
				<verse number="45">එසේම ඔබගේ පය, පාපයට ඔබ පොලඹවයි නම්, එය කපා වෙන් කර දමන්න. මන්ද කොරකු සේ ජීවනයට ඇතුළු වීම, දෙපා ඇතිව නිරයට හෙළනු ලැබීමට වඩා හොඳ ය.</verse>
				<verse number="46">එහිදී, ඔවුන්ගේ පණුවා නසින්නේ නැත. ඔවුන්ගේ ගින්න නිවෙන්නේ නැත.</verse>
				<verse number="47">එසේම ඔබගේ ඇස, පාපයට ඔබ පොලඹවයි නම්, එය ගලවා දමන්න. මන්ද එක ඇසක් ඇතිව දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම, දෑසම ඇතිව නිරයට හෙළනු ලැබීමට වඩා හොඳ ය.</verse>
				<verse number="48">“ ‘එහිදී, ඔවුන්ගේ පණුවා නසින්නේ නැත. ඔවුන්ගේ ගින්න නිවෙන්නේ නැත.’</verse>
				<verse number="49">හැම කෙනකුම ලුණෙන් මෙන් ගින්නෙන් පවිත්‍ර කරනු ලැබේ.</verse>
				<verse number="50">“ලුණු හොඳ ය. එහෙත් ලුණෙහි ලුණු රසය නැති වුවහොත්, යළි ඔබ එය ලුණු රස ගන්වන්නේ කෙසේ ද? ඔබ තුළ ලුණු ගතිය ඇතිව එකිනෙකා සමඟ සමඟියෙන් සිටින්නැ” යි පැවසූ සේක.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">එතැනින් නික්මුණු උන්වහන්සේ යොර්දානයෙන් එතෙර යුදය පළාතට පැමිණි සේක. යළි යළිත් ජන සමූහයා උන්වහන්සේ වෙත එක්රොක් වූහ. පුරුදු පරිදි උන්වහන්සේ ඔවුනට ඉගැන්වූ සේක.</verse>
				<verse number="2">පරිසිවරු පැමිණ උන්වහන්සේ පරීක්ෂා කරන අටියෙන්, “මිනිසකු සිය භාර්යාව දික්කසාද කිරීම නිත්‍යානුකූල දැ?” යි ප්‍රශ්න කළහ.</verse>
				<verse number="3">උන්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මෝසෙස් ඔබට අණ කර ඇත්තේ කුමක් දැ?” යි ඇසූ සේක.</verse>
				<verse number="4">ඔවුහු පිළිතුරු දෙමින්, “දික්කසාද සහතිකයක් ලියා දී, ඇය පිටත් කර යැවීමට මෝසෙස් මිනිසකුට ඉඩ දී ඇතැ” යි කීහ.</verse>
				<verse number="5">ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “ඔහු මේ ආඥාව ඔබට ලියා ඇත්තේ, ඔබගේ හදවත්වල දැඩිකම නිසයි.</verse>
				<verse number="6">එහෙත් මැවීමේ ආරම්භයේ සිට, ‘දෙවියන්වහන්සේ ඔවුන් මැවුවේ, පිරිමියා හා ගැහැනිය ලෙසයි.’</verse>
				<verse number="7">‘මිනිසෙක් තම පියා හා මව අත්හැර තම භාර්යාවට බැඳෙන්නේ මේ නිසා ය.</verse>
				<verse number="8">මෙසේ තවදුරටත් ඔවුහු දෙදෙනකු නො ව එක මාංසයක් වෙති.’</verse>
				<verse number="9">එබැවින් දෙවියන්වහන්සේ එකට එක් කළ දේ, මිනිසා විසින් වෙන් නො කෙරේවා” යි පැවසූ සේක.</verse>
				<verse number="10">ඔවුන් නිවස තුළ සිටියදී, ගෝලයෝ නැවතත් මේ කාරණය උන්වහන්සේගෙන් ඇසූහ.</verse>
				<verse number="11">උන්වහන්සේ පිළිතුරු දෙමින්, “තම භාර්යාව අත්හැර, අන් ස්ත්‍රියක ආවාහ කරගන්නා කවරකු වුව, ඇයට විරුද්ධව පරදාර සේවනයේ යෙදෙයි.</verse>
				<verse number="12">තවද ඈ තම ස්වාමියා අත්හැර, අන් පුරුෂයකු විවාහ කරගනී නම්, ඈ පරදාර සේවනයේ යෙදෙන්නී යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="13">දරුවන් පිට උන්වහන්සේ අත් තබන පිණිස, ජනයා කුඩා දරුවන් රැගෙන උන්වහන්සේ වෙත ආහ. එහෙත් ගෝලයෝ ඔවුන්ට තරවටු කළහ.</verse>
				<verse number="14">ඒ දැක උරණ වූ යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “දරුවන්ට මා වෙත එන්නට ඉඩ හරින්න. ඔවුන් වළක්වන්න එපා. මන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය මෙබඳු වූවන්ගේයි.</verse>
				<verse number="15">සැබවින් ම මා ඔබට කියන්නේ, යමකු දරුවකු සේ දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිගන්නේ නැතිනම්, ඔහු එහි ඇතුළු වන්නේ නැතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="16">උන්වහන්සේ කුඩා දරුවන් දෑතින් තුරුල් කරගෙන, ඔවුන් පිට අත් තබා, ආශිර්වාද කළ සේක.</verse>
				<verse number="17">උන්වහන්සේ ගමන් අරඹත්ම, එක් මිනිසෙක් දුවගෙන අවුත්, උන්වහන්සේ අබියස දණින් වැටී, “යහපත් ගුරුතුමනි, සදාතන ජීවනය උරුම කර ගන්නට, මා කුමක් කළ යුතු දැ?” යි ඇසී ය.</verse>
				<verse number="18">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “යහපත් ය කියා ඔබ මා අමතන්නේ ඇයි? දෙවියන්වහන්සේ හැර, අන් කිසිවෙක් යහපත් නො වේ.</verse>
				<verse number="19">ආඥා, ඔබ දනී: ‘මිනී නො මරනු, පරදාර සේවනයේ නො යෙදෙනු, සොරකම් නො කරනු, බොරු සාක්ෂි නො කියනු, වංචා නො කරනු, තම පියාට හා මවට ගරු කරනු යන දෑ’ යි” පැවසූ සේක.</verse>
				<verse number="20">ඔහු පිළිතුරු දෙමින්, “ගුරුතුමනි, යොවුන් වියේ පටන් මම ඒ සියල්ල පිළිපැද ඇත්තෙමි” යි කීවේ ය.</verse>
				<verse number="21">යේසුස්වහන්සේ ඔහු දෙස බලා, ඔහුට ප්‍රේම කොට, “ඔබට තව එක් දෙයක් අඩුයි. ගොස්, ඔබ සතු හැම දෙයක්ම විකුණා, දිළිඳුන්ට දෙන්න. එවිට ඔබට ස්වර්ගීක ධනය අත්වනු ඇත. ඉන්පසු ඇවිත් මා අනුගමන කරන්නැ” යි පැවසූ සේක.</verse>
				<verse number="22">ඒ ඇසූ කල, ඔහුගේ මුහුණ අඳුරු විය. ඔහු දැඩි සොවින්, පිට වී ගියේ ය. මන්ද ඔහුට මහ ධනයක් තිබිණ.</verse>
				<verse number="23">යේසුස්වහන්සේ අවට සිසාරා බලා, තම ගෝලයින් අමතමින්, “ධනවතුන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම කොතරම් අසීරු දැ!” යි පැවසූ සේක.</verse>
				<verse number="24">ගෝලයෝ ඒ වචන අසා විස්මපත් වූහ. එහෙත් යේසුස්වහන්සේ නැවත කතා කරමින්, “දරුවනි, දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම කොතරම් අසීරු ද?</verse>
				<verse number="25">ධනවතකුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා, ඔටුවකුට ඉඳිකටු සිදුරින් රිංගා යෑම පහසු යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="26">මින් වඩාත් විස්මිත වූ ඔවුහු ඔවුනොවුන්ට කතා කරමින්, “එසේ නම් ගැලවෙන්නට හැක්කේ කවරකුට දැ?” යි ඇසූහ.</verse>
				<verse number="27">යේසුස්වහන්සේ ඔවුන් දෙස බලා, “මිනිසුන්ට මෙය කොහෙත්ම කළ නො හැකි ය. එහෙත් දෙවියන්වහන්සේ සමඟ එසේ නො වේ; දෙවියන්වහන්සේට සියල්ල පුළුවනැ” යි කී සේක.</verse>
				<verse number="28">පේතෘස් උන්වහන්සේට කතා කොට, “බලන්න; අප හැම දෙයක්ම අත්හැර ඔබ අනුගමන කළා” යි කීවේ ය.</verse>
				<verse number="29">යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “සැබවින් ම මා ඔබට කියන්නේ, මා උදෙසාත්, ශුභාරංචිය උදෙසාත්, තම ගේ-දොර, සහෝදර-සහෝදරියන් හෝ මව, පියා හෝ දරුවන් හෝ ඉඩ කඩම් අත්හළ කවරෙක් වුව ද</verse>
				<verse number="30">මේ කාලයේදී සිය ගුණයකින් ගේ-දොර ද සහෝදර-සහෝදරියන් ද මව්වරුන් හා දරුවන් හා ඉඩ කඩම් ද සමඟ පීඩා ද මතු උදා වන යුගයේදී සදාතන ජීවනය ද ලබන බව ය.</verse>
				<verse number="31">එහෙත් ප්‍රථමයින් බොහෝ දෙනෙක් අන්තිමයින් ද අන්තිමයින් ප්‍රථමයින් ද වනු ඇතැ” යි කී සේක.</verse>
				<verse number="32">ඔවුහු යෙරුසලම බලා යමින් සිටියහ. යේසුස්වහන්සේ ඔවුන්ට පෙරටුවෙන් ගමන් ගත් සේක. ගෝලයින් පුදුමයට පත්ව සිටි අතර, පසුපස ගමන් කළ අය බය පත්ව සිටියහ. උන්වහන්සේ යළි දොළොස් දෙනා පසෙකට කැඳවා, තමාට සිදුවන්ට යන දේ ගැන ඔවුන්ට පැවසූ සේක.</verse>
				<verse number="33">“අප දැන් යන්නේ යෙරුසලමටයි. එහිදී මනුෂ්‍ය පුත්‍රයා නායක පූජකයින් හා දහම් පඬිවරුන් අතට පාවා දෙනු ලබයි. ඔවුහු, උන්වහන්සේ මරණයට තීන්දු කර, විදේශීන් අතට පාවා දෙනු ඇත.</verse>
				<verse number="34">ඔවුන් උන්වහන්සේට සරදම් කොට, කෙළ ගසා, කස පහර දී, මරා දමනු ඇත. තුන් දවසකට පසු උන්වහන්සේ නැගිටිනු ඇතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="35">සෙබදීගේ පුත්‍රයින් වූ යාකොබ් හා යොහන් උන්වහන්සේ වෙත පැමිණ, “ගුරුතුමනි, ඔබගෙන් අප ඉල්ලන කවර දෙයක් වුව ඔබ අපට කර දෙනවාට කැමැත්තෙමු” යි කීහ.</verse>
				<verse number="36">උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබට ඕනෑ මා ඔබට කුමක් කර දෙනවාට දැ?” යි ඇසූ සේක.</verse>
				<verse number="37">එවිට ඔවුහු, “ඔබගේ තේජසේදී අපගෙන් කෙනකු ඔබගේ දකුණු පසින් ද අනෙකා වම් පසින් ද හිඳගන්නට වර දෙන්නැ” යි ඉල්ලූහ.</verse>
				<verse number="38">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ ඉල්ලන්නේ කුමක් ද කියා ඔබ දන්නේ නැත. මා බොන කුසලාන බොන්නට හෝ මා බව්තීස්ම කරනු ලබන බව්තීස්මයෙන් ඔබටත් බව්තීස්මය ලබන්නට පුළුවන් දැ?” යි ඇසූ සේක.</verse>
				<verse number="39">“අපට පුළුවනැ” යි ඔවුහු උන්වහන්සේට කීහ. යේසුස්වහන්සේ ඔවුන් අමතා, “මා බොන්නාවූ කුසලානෙන් ඔබත් බොනු ඇත. මා බව්තීස්ම කරනු ලබන්නා වූ බව්තීස්මයෙන් ඔබත් බව්තීස්ම ලබනු ඇත.</verse>
				<verse number="40">එහෙත් මගේ දකුණු පස හෝ වම් පස හිඳ ගැනීමට දීම මා සතුවූවක් නො වේ. ඒ ස්ථාන සූදානම් කර ඇත්තේ යමකුට ද ඒවා ඔවුනට යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="41">දහ දෙනා ඒ වග ඇසූ කල යාකොබ් හා යොහන් සමඟ උරණ වූහ.</verse>
				<verse number="42">යේසුස්වහන්සේ ඔවුන් තමා වෙත කැඳවා, “අන්‍ය-ජාතිකයින්ගේ පාලකයෝ, ඔවුන් කෙරෙහි බලය පාන බව ඔබ දනී. ඔවුන්ගේ උසස් නිලතල දරන්නෝ ඔවුන්ට අධිපතිකම් පාති.</verse>
				<verse number="43">එහෙත් ඔබ අතරේ එසේ නො විය යුතුයි. ඔබ අතරේ උත්තමයා වන්නට කැමති තැනැත්තා, ඔබගේ සේවකයා විය යුතුයි.</verse>
				<verse number="44">ඔබ අතරේ මූලිකයා වෙන්නට කැමති තැනැත්තා, ඔබගේ දාසයා විය යුතුයි.</verse>
				<verse number="45">මන්ද මනුෂ්‍ය පුත්‍රයාණන් පවා පැමිණියේ, සේවය ලබන්නට නො ව, සේවය කිරීමටත්, බොහෝ දෙනා උදෙසා වන්දියක් වශයෙන් තම ජීවිතය දීමටත් යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="46">ඔවුහු යෙරිකෝවට පැමිණියහ. උන්වහන්සේ තම ගෝලයින් හා විශාල පිරිසක් කැටිව නගරයෙන් නික්ම යන අතර, තිමේයස්ගේ පුත් බර්තිමේයස් නම් අන්ධ සිඟන්නෙක් පාර අයිනේ හිඳ සිටියේ ය.</verse>
				<verse number="47">ඒ නාසරෙත්හි යේසුස්වහන්සේ බව දැනගත් ඔහු, “යේසුනි, දාවිත්ගේ පුත්‍රයාණෙනි, අනේ මට කරුණා කළ මැනව!” යි මොර ගසන්නට විය.</verse>
				<verse number="48">බොහෝ දෙනා ඔහුට තරවටු කරමින් නිශ්ශබ්ද වන්නට කීහ. එහෙත් ඔහු වඩ වඩා හඬ නගමින්, “දාවිත්ගේ පුත්‍රයාණෙනි, මට අනුකම්පා කරන්නැ!” යි මොර ගැසී ය.</verse>
				<verse number="49">යේසුස්වහන්සේ නැවතී, “ඔහුට හඬගසන්නැ” යි කී සේක. ඔවුහු අන්ධ මිනිසාට කතා කොට, “ධෛර්යය ගන්න; නැගිටින්න. අන්න එතුමා ඔබට හඬගසනවා” යි කීහ.</verse>
				<verse number="50">තම සළුව පසෙකට වීසි කරමින්, පැන නැගුණු ඔහු යේසුස්වහන්සේ ළඟට ආවේ ය.</verse>
				<verse number="51">“මගෙන් ඔබට කෙරෙන්න ඕනෑ කුමක් දැ?” යි යේසුස්වහන්සේ ඔහුගෙන් ඇසූ සේක. අන්ධ මිනිසා පිළිතුරු දෙමින්, “රබ්බී, මට යළි පෙනීම ලබන්නට ඕනෑ” යි කීවේ ය.</verse>
				<verse number="52">එවිට යේසුස්වහන්සේ, “යන්න, ඔබේ ඇදහිල්ල ඔබ සුව කළේ යැ” යි පැවසූ සේක. එකෙණෙහිම ඇස් පෙනීම ලද ඔහු, යේසුස්වහන්සේ අනුව ගියේ ය.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">ඔවුහු යෙරුසලමට ළඟා වෙමින්, ඔලීව කඳු බෑවුමේ පිහිටි බෙත්පාගේ හා බෙතානිය වෙත ළඟා වූ කල, යේසුස්වහන්සේ තම ගෝලයින් දෙදෙනකු පිටත් කර යවමින්,</verse>
				<verse number="2">ඔවුන් අමතා, “ඔබට ඉදිරියෙන් ඇති ගමට යන්න; ඔබ ඇතුල් වන කෙණෙහි, කිසි කලෙක කිසිවකු නො නැගුණු, බැඳ සිටින කොටළු වස්සකු ඔබට හමු වෙයි. ඌ ලිහා මෙහි ගෙනෙන්න.</verse>
				<verse number="3">යම් කෙනෙක් ඔබට කතා කොට, ‘ඇයි ඔබ මෙහෙම කරන්නේ?’ යි ඇසුවහොත් ‘ස්වාමින්වහන්සේට ඌ උවමනා ය, නො පමාව ඌ නැවත මෙහි එවනු ලැබේ ය’ කියා කියන්නැ” යි කී සේක.</verse>
				<verse number="4">ඔවුහු ගොස්, වීදියෙන් පිටත ගෙපිලක් අසල බැඳ සිටි කොටළු වස්සකු දැක, ඌ ලිහත්ම,</verse>
				<verse number="5">එහි සිටි අයගෙන් ඇතමෙක්, “මොකද මේ කරන්නේ? කොටළු වස්සා ලිහන්නේ ඇයි දැ?” යි ඇසූහ.</verse>
				<verse number="6">ඔවුන් යේසුස්වහන්සේ පැවසූ ලෙස පිළිතුරු දුන් කල ඔවුහු ඔවුන්ට යන්න හැරියෝ ය.</verse>
				<verse number="7">ඔවුහු කොටළු වස්සා යේසුස්වහන්සේ වෙත ගෙන අවුත්, ඌ පිට තමන්ගේ උඩු කබා අතුළහ. උන්වහන්සේ ඌ පිට හිඳගත් සේක.</verse>
				<verse number="8">එවිට බොහෝ දෙනෙක් තම උඩු කබා ද අනෙක් අය වතුවලින් කපා ගත් කොළ අතු ද මඟ අතුළෝ ය.</verse>
				<verse number="9">උන්වහන්සේ පෙරටුවෙන් ද පසුපසින් ද ගමන් කළ අය මහ හඬ නැගුවෝ ය, “හෝසන්නා! ” “ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාණන් ආශිර්වාදිත ය!”</verse>
				<verse number="10">“අප පිය වූ දාවිත්ගේ මතු පැමිණෙන රාජ්‍යය ආශිර්වාදිත ය!” “ඉතාම උසස් තැන්හි හෝසන්නා!”</verse>
				<verse number="11">උන්වහන්සේ යෙරුසලමට පැමිණ, දේව මාලිගයට ඇතුළුව එහි වූ සියල්ල දෙස බලා, ඒ වන විටත් සවස්ව තිබූ බැවින්, දොළොස් දෙනා ද කැටිව බෙතානිය බලා ගිය සේක.</verse>
				<verse number="12">පසු දා ඔවුන් බෙතානියෙන් නික්ම එන කල, යේසුස්වහන්සේට කුසගිනි විය.</verse>
				<verse number="13">කොළ සහිත අත්තික්කා ගහක් උන්වහන්සේ දුරදීම දැක, එයින් යමක් හමුවේදැයි බැලීමට ගිය සේක්, ගස ළඟට පැමිණි කල, කොළ මිස අන් දෙයක් උන්වහන්සේ දුටුවේ නැත. මන්ද එය අත්තික්කා වාරය නො වීය.</verse>
				<verse number="14">එවිට උන්වහන්සේ ඒ ගස අමතා, “කිසිවෙක් යළි කිසි දින නුඹෙන් පල අනුභව නො කරත්වා” යි පැවසූ සේක. උන්වහන්සේගේ ගෝලයින්ට එය ඇසිණි.</verse>
				<verse number="15">ඔවුහු යෙරුසලමට පැමිණියහ. යේසුස්වහන්සේ දේව මාලිගයට ඇතුළුව, දේව මාලිගය තුළ විකුණමින් හා මිලයට ගනිමින් සිටියවුන් පිටතට පලවා හරින්නට පටන් ගත් සේක්, මුදල් මාරුකරන්නන්ගේ මේස ද පරෙවි වෙළඳුන්ගේ ආසන ද පෙරළා දැමූ සේක.</verse>
				<verse number="16">දේව මාලිගය මැදින් කිසිවක් ගෙන යෑමට උන්වහන්සේ කිසිවකුට ඉඩ දුන්නේ නැත.</verse>
				<verse number="17">ඉන්පසු යේසුස්වහන්සේ ඔවුන්ට උගන්වමින්, “ ‘මාගේ ගෘහය සියලු ජාතීන්ට යාච්ඤාවේ ගෘහයක් වන්නේ ය’ කියා ලියා නැද්ද? එහෙත් නුඹලා එය ‘සොරුන්ගේ ගුහාවක්’ කර තිබේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="18">ඒ ඇසූ නායක පූජකවරු හා දහම් පඬිවරු, උන්වහන්සේ මරා දැමීමට සෙවූහ. මන්ද මුළු පිරිස උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන විස්මිත වූ බැවින් ඔවුහු උන්වහන්සේට බය වූහ.</verse>
				<verse number="19">සවස් වූ කල යේසුස්වහන්සේ නුවරින් නික්ම ගිය සේක.</verse>
				<verse number="20">උදෑසන ඔවුහු යද්දී අත්තික්කා ගහ මුල සිටම වියළී ඇති බව දුටහ.</verse>
				<verse number="21">පේතෘස් සිද්ධිය සිහිවී, උන්වහන්සේ අමතා, “රබ්බී, බලන්න! ඔබ ශාප කළ අත්තික්කා ගහ වියළී ගොසිනැ!” යි කීවේ ය.</verse>
				<verse number="22">යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේ තුළ අදහන්න.</verse>
				<verse number="23">සැබවින් ම මා ඔබට කියන්නේ, යමෙක් මේ කන්දට කතා කොට, ‘ඉදිරී ගොස්, මුහුදේ වැටෙනු’ කියා, ඔහුගේ හදින් සැක නො කොට, තමන් අණ කළ දෙය එලෙසින්ම සිදු වෙතැයි විශ්වාස කරන්නේ නම්, ඔහු කියන දේ සිදු වේ. එය ඔහුට ඉටුකර දෙනු ලැබේ.</verse>
				<verse number="24">එබැවින් මා ඔබට කියන්නේ, ඔබ යාච්ඤාවෙන් ඉල්ලන කවර දෙයක් වුව, ඔබට ලැබුණේ යැයි විශ්වාස කරන්න; එය ඔබටම වන්නේ ය.</verse>
				<verse number="25">ඔබ යාච්ඤා කරන්නට සිටගන්නා විට, යමකුට විරුද්ධව යම් දෙයක් ඇත්නම්, ස්වර්ගයේ වෙසෙන ඔබගේ පියාණන්වහන්සේත් ඔබේ වැරදි කමා කරන පිණිස, ඔහුට කමාව දෙන්න.</verse>
				<verse number="26">එහෙත් ඔබ කමා නො කරන්නේ නම්, ස්වර්ගයේ සිටින පියාණන්වහන්සේ ද ඔබේ වැරදි කමා නො කරන සේකැ” යි කී සේක.</verse>
				<verse number="27">ඔවුහු යළිත් යෙරුසලමට පැමිණියහ. යේසුස්වහන්සේ දේව මාලිගයේ සක්මන් කරමින් සිටියදී, නායක පූජකවරු, දහම් පඬිවරු හා වැඩිහිටියෝ උන්වහන්සේ වෙත පැමිණ,</verse>
				<verse number="28">“ඔබ මේ දේවල් කරන්නේ කවර අධිකාරී බලයකින් ද? ඔබට මේවා කිරීමට බලය දුන්නේ කවුරු දැ?” යි උන්වහන්සේගෙන් ඇසූහ.</verse>
				<verse number="29">යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “මමත් ඔබෙන් එක ප්‍රශ්නයක් අහන්නම්; එයට පිළිතුරු දුන්නොත්, එවිට මේ දේවල් මා කරන්නේ කවර අධිකාරිත්වයකින් ද කියා ඔබට කියන්නම්;</verse>
				<verse number="30">යොහන්ගේ බව්තීස්මය ස්වර්ගයෙන් ද? නැතිනම් මිනිසුන්ගෙන් ද? මට උත්තර දෙන්නැ!” යි කී සේක.</verse>
				<verse number="31">එවිට ඔවුහු තම තමන් අතරේ සාකච්ඡා කරමින්, “ ‘ස්වර්ගයෙනි’ යි කීවොත්, ‘එසේ නම් ඔබ ඔහු විශ්වාස නො කළේ මන්දැ?’ යි ඔහු අසාවි.</verse>
				<verse number="32">‘මිනිසුන්ගෙනි’ යි කීවොත්” (යොහන් සැබවින් ම දිවැසිවරයකු බව මුළු ජනතාව පිළිගෙන තිබූ හෙයින් එසේ කීමට ඔවුහු බිය වූහ.)</verse>
				<verse number="33">එබැවින් ඔවුහු යේසුස්වහන්සේට පිළිතුරු දෙමින්, “අප දන්නේ නැතැ” යි කීහ. යේසුස්වහන්සේ ද පිළිතුරු දෙමින්, “මා මේ දේවල් කරන්නේ කවර අධිකාරී බලයක් පිටදැයි මා ද ඔබට කියන්නේ නැතැ” යි පැවසූ සේක.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">උන්වහන්සේ ඔවුන්ට උපමා මඟින් කතා කරන්නට පටන් ගෙන, “මිනිසෙක් මිදි වත්තක් වවා, එය වටකර තාප්පයක් බැඳ, මිදි මඬින මෝලක් සඳහා වළක් හාරා, මුර ටැඹක් ද තැනී ය. ඉන්පසු ඔහු ගොවීන්ට වත්ත බදු දී, පිට රටකට ගියේ ය.</verse>
				<verse number="2">පල නෙළන කාලය උදා වූ කල, ඔහු මිදි වත්තෙන් තම කොටස ලබන පිණිස බදුකරුවන් වෙත තම සේවකයකු යැවී ය.</verse>
				<verse number="3">එහෙත්, ඔවුහු එම දාසයා අල්ලා, තළා-පෙළා, හිස් අතින්ම ආපසු යැවූහ.</verse>
				<verse number="4">එකල ඔහු වෙනත් දාසයකු ඔවුන් වෙත යැවී ය. ඔවුහු ඔහුගේ හිසට පහර දී, ඔහුට නින්දා සහගතව සැලකූහ.</verse>
				<verse number="5">ඔහු තවත් කෙනකු යැවී ය. ඔවුහු ඔහු මරා දැමූහ. ඔහු තවත් කීප දෙනකු යැවී ය. ඔවුහු මොවුන්ගෙන් ඇතමකුට පහර දුන් අතර, ඇතමකු මරා දැමූහ.</verse>
				<verse number="6">“යැවීමට ඉතිරිව සිටියේ ඔහුගේ එකම ප්‍රේමණීය පුත්‍රයා පමණි. අන්තිමේ ඔහු තම පුත්‍රයා ඔවුන් වෙත යැව්වේ, ‘ඔවුන් මගේ පුත්‍රයාට ගරු කරනු ඇතැ’ යි පවසමිනි.</verse>
				<verse number="7">“එහෙත් ඒ බදුකරුවෝ තමන් අතරේ කතා කරමින්, ‘මෙන්න උරුමක්කාරයා. එන්න; මොහු මරා දමමු! එවිට උරුමය අපට යැ’ යි කීහ.</verse>
				<verse number="8">මෙසේ ඔවුහු ඔහුගේ පුත්‍රයා අල්ලා, මරා, මිදි වත්තෙන් පිටතට ඇද දැමූහ.</verse>
				<verse number="9">“මිදි වතු හිමියා ඊට කුමක් කරයි ද? ඔහු ඇවිත් බදුකරුවන් මරා, ඒ මිදි වත්ත වෙනත් අයට බාර දෙනු ඇත.</verse>
				<verse number="10">මේ ශුද්ධ ලියවිලි පාඨය ඔබ කියවා නැද්ද? “ ‘ඉදිකරන්නන් විසින් ඉවත ලූ ගල, ප්‍රධාන ඉදිකිරීම් ගල බවට පත්ව ඇත.</verse>
				<verse number="11">මෙය ස්වාමින්වහන්සේම කළ දෙයකි; අපේ ඇස් හමුවේ එය ආශ්චර්ය ය.’ ”</verse>
				<verse number="12">එම උපමාව තමන්ට එරෙහිව එල්ල කරන ලද්දක් බැව් දැනගත් ඔවුහු, උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට මඟක් සෙවූහ. එහෙත් ජනයාට බියෙන් ඔවුහු උන්වහන්සේ හැර ඉවත ගියහ.</verse>
				<verse number="13">පසුව කට වචනයෙන් උන්වහන්සේ කොටු කර ගැනීමට, ඔවුහු පරිසිවරුන්ගෙන් හා හෙරෝදිවරුන්ගෙන් ඇතමකු උන්වහන්සේ වෙත යැවූහ.</verse>
				<verse number="14">ඔවුහු පැමිණ උන්වහන්සේ අමතමින්, “ගුරුතුමනි, ඔබතුමා සත්‍යවාදී වූ, කිසිවකුගේ බලපෑමකට යටත් නො වන කෙනකු වග අප දන්නවා; මන්ද ඔබ මිනිසුන්ගේ තරාතිරම් නො බලන, දෙවියන්වහන්සේගේ මාර්ගය සත්‍යයට එකඟව උගන්වන කෙනෙක්. සීසර්ට බදු ගෙවීම නිත්‍යානුකූල ද? නැද්ද?</verse>
				<verse number="15">අප බදු ගෙවිය යුතු ද? නැද්දැ?” යි ඇසූහ. එහෙත් ඔවුන්ගේ කුහකකම දත් උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ මා පරීක්ෂා කරන්නේ මන්ද? ඩිනාරියක කාසියක් මා වෙත ගෙනැවිත්, මට එය බලන්න දෙන්නැ” යි කී සේක.</verse>
				<verse number="16">ඔවුන් එය ගෙනා කල, උන්වහන්සේ ඔවුන් අමතමින්, “මෙහි තිබෙන රූපය කාගේ ද? මෙහි ඇති සටහන කාගේ දැ?” යි ඇසූ සේක. “සීසර්ගේ යැ” යි ඔවුහු පිළිතුරු දුන්හ.</verse>
				<verse number="17">එවිට යේසුස්වහන්සේ, “සීසර්ගේ දේ සීසර්ටත්, දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දෙන්නැ” යි කී සේක. ඔවුහු උන්වහන්සේ ගැන මවිත වූහ.</verse>
				<verse number="18">මරණින් නැගිටීමක් නැතැයි කියන සද්දුසිවරු ඇතැම් දෙනෙක් උන්වහන්සේ වෙත පැමිණ, ප්‍රශ්න කරමින්,</verse>
				<verse number="19">“ගුරුතුමනි, මෝසෙස් අපට ලියා දී ඇත්තේ, යමකුගේ සහෝදරයකු තම භාර්යාව ජීවත්ව සිටියදී දරු පල නො ලැබ මළොත්, ඒ මිනිසා එම වැන්දඹුව ආවාහ කරගෙන තම සහෝදරයා නමට දරු පල ලබා දිය යුතු වගයි.</verse>
				<verse number="20">අප අතර සහෝදරයින් හත්දෙනෙක් සිටියා. පළමු වැන්නා විවාහයක් කරගෙන දරු පල නො ලැබ මිය ගියා,</verse>
				<verse number="21">පසුව දෙවැන්නා ඒ වැන්දඹුව විවාහ කර ගත් නමුදු, ඔහු ද දරු පල නො ලැබ මිය ගියා. තුන්වැන්නාට සිදු වූයේ ද එයමයි.</verse>
				<verse number="22">මේ හත්දෙනාම දරු පල නො ලැබම මිය ගියා. අන්තිමේ ඒ ස්ත්‍රිය ද මිය ගියා.</verse>
				<verse number="23">ඇය මේ හත්දෙනාගේම භාර්යාව වූ බැවින් මරණින් නැවත නැගිටීමේදී ඈ මේ අයගෙන් කාගේ භාර්යාව වන්නී දැ?” යි ඇසූහ.</verse>
				<verse number="24">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ වරද්දාගෙන ඇත්තේ, ශුද්ධ ලියවිලිවත්, දෙවියන්වහන්සේගේ බලයවත් ඔබ නො දන්නා නිසයි.</verse>
				<verse number="25">මළවුන් නැවත නැගිටින කල, ඔවුන් ආවාහ කර ගන්නේවත්, විවාහ කර දෙන්නේවත් නැත. ඔවුන් ස්වර්ගයේ දේව දූතයින් මෙන් වනු ඇත.</verse>
				<verse number="26">මළවුන් නැවත නැගිටීම ගැන කියනවා නම්, මෝස‍ෙස්ගේ පොතේ, දැවෙන පඳුර පිළිබඳ කොටසේ, දෙවියන්වහන්සේ ඔහුට කතා කොට, ‘මම ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ ය; ඊසාක්ගේ දෙවියන්වහන්සේ ය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ යැ’ යි පැවසූ වග ඔබ කියවා නැද්ද?</verse>
				<verse number="27">උන්වහන්සේ මළවුන්ගේ දෙවියන්වහන්සේ නො ව, ජීවත්වන්නන්ගේ දෙවියන්වහන්සේ ය. ඔබට බොහෝ සේ වැරදී ඇතැ!” යි පැවසූ සේක.</verse>
				<verse number="28">පැමිණ සිටි දහම් පඬිවරුන්ගෙන් කෙනෙක්, ඔවුන් එකිනෙකාගේ වාද කිරීම අසා, උන්වහන්සේ ඔවුන්ට නිසි පිළිතුර දුන් වග දැක, උන්වහන්සේගෙන් ප්‍රශ්න කරමින්, “සියලු ආඥාවලින් වඩාත් උතුම් එක කොයික දැ?” යි ඇසී ය.</verse>
				<verse number="29">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “වඩාත් උතුම් ආඥාව මෙයයි: ‘එම්බා ඉශ්‍රායෙල්, සවන් දෙන්න: අපේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ එකම ස්වාමින්වහන්සේ ය.</verse>
				<verse number="30">ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ජීවයෙන් ද ඔබේ මුළු බුද්ධියෙන් ද ඔබේ මුළු ශක්තියෙන් ද ප්‍රේම කරන්න.’</verse>
				<verse number="31">දෙවැන්න මෙයයි: ‘ඔබ ඔබටම ප්‍රේම කරන්නා සේ, ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න’ යන්නයි. මේවාට වඩා උතුම් ආඥාවක් තවත් නැතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="32">එවිට දහම් පඬිවරයා, “ඔබ කීවා හරි ගුරුතුමනි; උන්වහන්සේ එකම තැනැන්වහන්සේ ය; උන්වහන්සේ හැර අන් කෙනෙක් නැතැයි ඔබ කීවා සැබෑ ය.</verse>
				<verse number="33">මුළු හෘදයෙන් ද මුළු බුද්ධියෙන් ද මුළු ශක්තියෙන් ද උන්වහන්සේට ප්‍රේම කිරීම හා කෙනකු තමාටම ප්‍රේම කරන්නා සේ, ඔහුගේ අසල්වැසියාටත් ප්‍රේම කිරීම, සියලු දවන පූජා හා වෙනත් යාගවලට වඩා උතුම් යැ” යි කීවේ ය.</verse>
				<verse number="34">ඔහු ප්‍රඥාවත්ව උත්තර දුන් බව දුටු යේසුස්වහන්සේ, “ඔබ සිටින්නේ දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඈතින් නො වේ” යි පැවසූ සේක. එතැන් පටන් තවදුරටත් උන්වහන්සේගෙන් ප්‍රශ්න කිරීමට කිසිවකු එඩිතර නො වීය.</verse>
				<verse number="35">යේසුස්වහන්සේ දේව මාලිගයේ උගන්වමින්, “ක්‍රිස්තුස්වහන්සේ දාවිත්ගේ පුත්‍රයා යැයි දහම් පඬිවරු කියන්නේ කෙසේ ද?</verse>
				<verse number="36">දාවිත් ම ශුද්ධාත්මයාණන්වහන්සේගේ මඟපෙන්වීමෙන් කතා කරමින්, “ ‘මා විසින් ඔබේ සතුරන් ඔබේ පයට යටත් කරන තෙක්, මා දකුණු පසින් අසුන් ගන්නැ’ යි ස්වාමින්වහන්සේ මා ස්වාමින්වහන්සේට කී සේකැ” යි ප්‍රකාශ කර ඇත.</verse>
				<verse number="37">“දාවිත් ම උන්වහන්සේට ‘ස්වාමින්වහන්සේ ය’ කියයි නම් උන්වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේ දැ?” යි ඇසූ සේක. රැස්ව සිටි විශාල පිරිස උන්වහන්සේට ප්‍රීතියෙන් සවන් දුන්හ.</verse>
				<verse number="38">උන්වහන්සේ උගන්වමින්, “දහම් පඬිවරුන්ගෙන් පරෙස්සම් වන්න; දිග ලෝගු ඇඳ, සක්මන් කිරීමට කැමති ඔවුන්, ප්‍රසිද්ධ ස්ථානවලදී ගෞරවාචාර ලැබීමටත්,</verse>
				<verse number="39">සිනගෝගවල විශේෂ ආසන දැරීමටත්, මංගල සාදයන්හිදී ගෞරවනීය ස්ථාන දැරීමටත් කැමති ය.</verse>
				<verse number="40">ඔවුහු වැන්දඹුවන්ගේ ගේ-දොර කොල්ල කති. අනුන්ට පෙනෙන්නට දීර්ඝ යාච්ඤා පවත්වති. ඔවුන් වඩා බරපතළ දඬුවම් ලබනු ඇතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="41">ඉන්පසු උන්වහන්සේ දේව මාලිගයේ පඬුරු පෙට්ටියට ඉදිරියෙන් වාඩි වී, ජනයා පඬුරු පෙට්ටියට පඬුරු දමන අයුරු බලා සිටි සේක. ධනවතුන් බොහෝ දෙනෙක් මුදල් වැඩි ගණනක් ඊට දැමූහ.</verse>
				<verse number="42">එහෙත් දිළිඳු වැන්දඹුවක් පැමිණ, සතයක් වටිනා තඹ කාසි දෙකක් දැමුවා ය.</verse>
				<verse number="43">එවිට තම ගෝලයින් කැඳවූ යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “සැබවින් ම මා ඔබට කියන්නේ, පඬුරු පෙට්ටියට මුදල් දැමූ අන් සියල්ලන්ටම වඩා මේ දිළිඳු වැන්දඹුව දැමූ බවයි.</verse>
				<verse number="44">අන් සැවොම දැමුවේ තමන්ට වැඩිමනත් ධනයෙනි. එහෙත් මෑ තමන්ට අග හිඟව තිබියදීත්, ජීවත් වීමට තිබූ සියල්ල දැමුවා යැ” යි පැවසූ සේක.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">උන්වහන්සේ දේව මාලිගයෙන් නික්ම යද්දී, උන්වහන්සේගේ ගෝලයන්ගෙන් කෙනෙක්, උන්වහන්සේට, “බලන්න ගුරුතුමනි, මොන තරම් අපූරු ගල් ද! මොන තරම් අපූරු ගොඩනැගිලි දැ!” යි කීවේ ය.</verse>
				<verse number="2">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මේ විශාල ගොඩනැගිලි ඔබට පෙනෙනවා නො වේ ද? ගලක් පිට ගලක් නො තිබෙන සේ, හැම එකක්ම බිඳ දමා පොළොවට සමතලා කරනු ඇතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="3">උන්වහන්සේ දේව මාලිගය ඉදිරියේ ඔලීව කන්දේ වාඩි වී සිටියදී, පේතෘස්, යාකොබ්, යොහන් හා අන්දෘ උන්වහන්සේට පුද්ගලිකව කතා කොට,</verse>
				<verse number="4">“කියන්න අපට, මේ දේවල් සිදුවන්නේ කවරදා ද? ඒවා ඉටු වීමට යන කල, ඇති වන පෙර නිමිත්ත කුමක් දැ?” යි ඇසූහ.</verse>
				<verse number="5">යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “කිසිවකු ඔබ මුළා නො කරන ලෙසට වගබලා ගන්න;</verse>
				<verse number="6">බොහෝ දෙනෙක් මාගේ නාමයෙන් අවුත්, ‘උන්වහන්සේ මමයි!’ කියා ගනිමින් බොහෝ දෙනකු මුළා කරනු ඇත.</verse>
				<verse number="7">යුද්ධ හා යුද්ධ ගැන ආරංචි ඔබට අසන්නට ලැබෙන විට තැති ගන්න එපා. මේ දේවල් සිදු විය යුතුයි; එහෙත් තවමත් අවසානය නො වේ.</verse>
				<verse number="8">මන්ද ජාතියකට එරෙහිව ජාතියක් ද රාජ්‍යයකට එරෙහිව රාජ්‍යයක් ද නැගී සිටිනු ඇත. නොයෙක් තැන්හි භූමිකම්පා ඇති වෙයි; සාගත ද ඇති වෙයි. මේවා ප්‍රසව වේදනාවේ පටන්ගැන්මයි.</verse>
				<verse number="9">“විමසිල්ලෙන් සිටින්න. ඔවුන් උසාවිවලට ඔබ අල්ලා දෙනු ඇත. සිනගෝගවලදී ඔබට කස පහර දෙනු ඇත. ආණ්ඩුකාරයින් හා රජුන් ඉදිරියේ ඔවුන්ට සාක්ෂිකරුවන් වශයෙන් ඔබ මා උදෙසා පෙනී සිටිනු ඇත.</verse>
				<verse number="10">තවද පළමු කොට ශුභාරංචිය සියලු ජාතීන්ට ප්‍රකාශ කරනු ලැබිය යුතු ය.</verse>
				<verse number="11">ඔබ අත්අඩංගුවට ගෙන, විභාගයට ඉදිරිපත් කරන කල, කිව යුත්තේ කුමක් ද යන්න ගැන සිතා කනස්සලු නො වන්න. ඔබ කිව යුතු දෑ ඒ පැයේදී ඔබට දෙනු ලැබේ. මන්ද කතා කරන්නේ ඔබ නො ව, ශුද්ධාත්මයාණන්වහන්සේ ය.</verse>
				<verse number="12">“සහෝදරයෙක් සහෝදරයකු ද පියා තම දරුවා ද මරණයට පාවා දෙනු ඇත. තවද දරුවන් තම දෙමවුපියනට එරෙහිව නැගිට, ඔවුන් මරණයට පත් කරනු ඇත.</verse>
				<verse number="13">මාගේ නාමය නිසා සැවොම ඔබට වෛර කරනු ඇත. එහෙත් අවසානය දක්වා නො සැලී ස්ථිරව සිටින්නා, ගලවනු ලබනු ඇත.</verse>
				<verse number="14">“තවද බිහිසුණු පාළුව ගෙනෙන පිළිකුල, නො සිටිය යුතු තැන සිටගෙන සිටිනු ඔබ දකින කල, (කියවන්නා එය තේරුම් ගනීවා) යුදයේ සිටින්නෝ කඳුවලට පලා යත්වා!</verse>
				<verse number="15">ගෙයි පියස්සේ සිටින්නා ගෙතුළ ඇති යමක් ගන්නා පිණිස පහළ නො බසිත්වා!</verse>
				<verse number="16">කෙතෙහි සිටින්නා තම කබාය ගන්නට ආපසු නො ඒවා!</verse>
				<verse number="17">ගැබිණියනටත්, කිරිදෙන මවුන්ටත් ඒ දවස් අහෝ භයංකර ය.</verse>
				<verse number="18">ශීත කාලයේ මෙය නො වන ලෙස යාච්ඤා කරන්න.</verse>
				<verse number="19">මන්ද ඒ දවස්හි දෙවියන්වහන්සේ මැවූ මැවීම පටන්ගැන්මේ සිට, මේ දක්වා සිදු නො වූ, මින් මතු කවර කලෙක සිදු නො වන විපත්-පීඩාවක් වනු ඇත.</verse>
				<verse number="20">“ස්වාමින්වහන්සේ ඒ කාලය කෙටි නො කරන ලද්දේ නම්, කිසි කෙනෙක් ඉතිරි නො වන්නේ ය. එහෙත් නියම කර, තෝරාගනු ලැබූවන් උදෙසා ඒ කාලය කෙටි කළ සේක.</verse>
				<verse number="21">ඒ කාලයේ යමකු කතා කොට, ‘මෙන්න ක්‍රිස්තුස්වහන්සේ මෙතැන ය; අන්න, උන්වහන්සේ අතැන ය’ කියා පැවසුවත් එය විශ්වාස නො කරන්න.</verse>
				<verse number="22">මන්ද ව්‍යාජ ක්‍රිස්තුවරුන් හා ව්‍යාජ දිවැසිවරුන් නැගිට, හැකි නම් තෝරාගනු ලැබූවන් වුව මුළා කරන්නට තරම් වූ හාස්කම් හා අනුහස් ලකුණු දක්වනු ඇත.</verse>
				<verse number="23">එබැවින් පරෙස්සම් වන්න; මේ සියල්ල කල් ඇතුව මම ඔබට කීවෙමි.”</verse>
				<verse number="24">“එහෙත් ඒ දවස්වල ඒ විපත්තියෙන් පසු, “ ‘හිරු අඳුරු වනු ඇත, සඳු ද තම එළිය නො දෙනු ඇත;</verse>
				<verse number="25">තරු අහසින් කඩා වැටෙනු ඇත. අහසේ බල වස්තූන් සොලවනු ලබනු ඇත.’</verse>
				<verse number="26">“එකල මනුෂ්‍ය පුත්‍රයාණන් මහත් බලයෙන් හා තේජසින් යුක්තව වලාකුළු තුළ එනු මනුෂ්‍යයින් දකිනු ඇත.</verse>
				<verse number="27">තවද උන්වහන්සේ තමන් තෝරා ගත්තවුන් සිවු දෙසින් ම රැස් කරන පිණිස, පොළෝ සීමාන්තයේ සිට අහස් සීමාන්ත දක්වා සුර දූතයින් යවන සේක.</verse>
				<verse number="28">“අත්තික්කා ගසෙන් මේ පාඩම ඉගෙන ගන්න. එහි රිකිලි මෘදු වී, ඒවායේ කොළ ලියලන විට, ගිම්හාන කාලය ළඟා වී ඇති බැව් ඔබ දනිති.</verse>
				<verse number="29">එලෙසම මේ දේවල් සිදුවනු දකින කල, උන්වහන්සේ අත ළඟ වග, දොරකඩ ළඟම බව දැනගන්න.</verse>
				<verse number="30">සැබවින් ම මා ඔබට කියන්නේ, මේ හැම දේ සිදුවන තුරු මේ පරම්පරාව පහව නො යන බවයි.</verse>
				<verse number="31">අහසත් පොළොවත් පහව යනු ඇත. එහෙත් මාගේ වචන පහව යන්නේ නැත.</verse>
				<verse number="32">“ඒ දවස හෝ ඒ පැය ගැන කිසිවකු දන්නේ නැත. පියාණන්වහන්සේ පමණක් මිස, ස්වර්ගයේ දේව දූතයින්වත්, පුත්‍රයාණන්වත් දන්නේ නැත.</verse>
				<verse number="33">ඒ වෙලාව කොයි වේලේ ඒදෝයි ඔබ නො දන්න බැවින් පරෙස්සම් වන්න! විපරමින් සිටින්න.</verse>
				<verse number="34">එය, තම මෙහෙකරුවන් එකිනෙකාට නියමිත වැඩ පවරා, අවදිව සිටින ලෙස දොරටුව මුර කරන්නාට අණ දී, සිය නිවසින් පිට වී චාරිකාවක යෙදුණු මිනිසකුට සමාන ය.</verse>
				<verse number="35">“එහෙයින් අවදියෙන් සිටින්න. මන්ද ගෙදර ස්වාමියා නැවත පැමිණෙන්නේ සවස ද මැදියම් රෑ ද කුකුළා හඬලන වේලාවේ ද හිමිදිරියේදැයි ඔබ නො දනී.</verse>
				<verse number="36">ඔහු හදිසියේම පැමිණ, ඔබ නිදා සිටිනු දකින්නට නො ලැබේවා.</verse>
				<verse number="37">මම ඔබට කියන දේම අන් සියල්ලන්ට ද කියමි: ‘අවදියෙන් සිටින්නැ’ යි” පැවසූ සේක.</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">පාස්කුවට හා නුමුහුන් රොටි උළෙලට තිබුණේ දවස් දෙකක් පමණි. නායක පූජකවරු හා දහම් පඬිවරු කූට උපායකින් උන්වහන්සේ අල්ලා, මරා දමන්නේ කෙසේදැයි සෙවූහ.</verse>
				<verse number="2">ඔවුහු උනුන් අමතමින්, “නමුත් උළෙල දවස්වල නො වෙයි; නැතහොත් ජනයා කැලඹෙන්නට පුළුවනි” යි කීහ.</verse>
				<verse number="3">යේසුස්වහන්සේ, කුෂ්ඨ රෝගියා වූ බෙතානියේ සීමොන්ගේ නිවසේ මේසයට වාඩි වී සිටියදී, ස්ත්‍රියක් පවිත්‍ර නාඩ්වලින් සෑදූ ඉතා මිල අධික සුවඳ විලවුන් පිරුණු කිරිගරුඬ බඳුනක් ගෙනැවිත්, එය කඩා, උන්වහන්සේගේ හිසේ වත් කළා ය.</verse>
				<verse number="4">එහි සිටි ඇතමෙක් කෝප වී, ඔවුනොවුන් අතර කතා වෙමින්, “මේ සුවඳ විලවුන් මෙහෙම නාස්ති කරන්නේ ඇයි?</verse>
				<verse number="5">මේ සුවඳ විලවුන් විකුණා, ඩිනාරි තුන්සියයකට වැඩි මිලක් ගෙන, දිළිඳුන්ට බෙදා දෙන්න තිබුණා” යි ඇයට දොස් කීහ.</verse>
				<verse number="6">යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “ඇයට ඉන්නට හරින්න; මැයට ඔබ කරදර කරන්නේ ඇයි? ඈ මට කර ඇත්තේ, මනහර දෙයක්;</verse>
				<verse number="7">දිළිඳුන් හැමදා ඔබ අතරේ සිටීවි. ඔබට ඕන වෙලාවක ඔවුන්ට උදවු කරන්නට ඔබට පුළුවන. එහෙත් මා ඔබ අතරේ හැමදා සිටින්නේ නෑ.</verse>
				<verse number="8">ඈ කළේ ඇයට කළ හැකි දේයි. භූමදානයට පෙර ඈ මගේ සිරුර සුවඳ ගල්වා, ආලේප කළා.</verse>
				<verse number="9">සැබවින් ම මා ඔබට කියන්නේ, ලොව මුළුල්ලේ මේ ශුභාරංචිය ප්‍රකාශ කරන කොතැනක වුව ද, මැය සිහිපත් කරමින් ඇය කළ දෑ ගැන ද කියනු ලබනු ඇතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="10">එවිට දොළොස් දෙනාගෙන් කෙනකු වූ යූදස් ඉස්කාරියොත් නායක පූජකවරුන් වෙත ගියේ, උන්වහන්සේ ඔවුන් අතට පාවා දෙන පිණිස ය.</verse>
				<verse number="11">ඒ ඇසීමෙන් සතුටට පත් වූ ඔවුහු, ඔහුට මුදල් දීමට පොරොන්දු වූහ. එහෙයින්, ඔහු උන්වහන්සේ පාවා දීමට සුදුසු අවස්ථාවක් ගැන සෙවිල්ලෙන් සිටියේ ය.</verse>
				<verse number="12">පාස්කු බැටළුවා පූජා කළ නුමුහුන් රොටි උළෙලේ පළමු දවසේ උන්වහන්සේට කතා කළ ගෝලයෝ, “ඔබට පාස්කුව වැළඳීමට අප පිළියෙල කළ යුත්තේ කොතැනක දැ?” යි ඇසූහ.</verse>
				<verse number="13">උන්වහන්සේ තම ගෝලයින් දෙදෙනකු පිටත් කරමින්, “නගරයට ගොස්, එහිදී වතුර කළයක් ගෙන යන මිනිසකු ඔබට හමුවේවි. ඔහු පසුපස යන්න.</verse>
				<verse number="14">ඔහු ඇතුළු වන නිවසේ ගෙහිමියාට කතා කොට, ‘මාගේ ගෝලයින් සමඟ පාස්කු භෝජනය වැළඳිය හැකි මාගේ ආගන්තුක ශාලාව කොතැනදැයි ගුරුතුමා අසනවා’ යි කියන්න.</verse>
				<verse number="15">අවශ්‍ය බඩු බාහිරාදියෙන් යුතු, සූදානම් කරන ලද විශාල උඩු මහල් කාමරයක් ඔහු ඔබට පෙන්වාවි. එතැන අපට පිළියෙල කරන්නැ” යි කී සේක.</verse>
				<verse number="16">ගෝලයෝ පිටත්ව, නගරයට පිවිස, උන්වහන්සේ කී පරිදි සම්භ වූයෙන්, පාස්කුව එහි පිළියෙල කළෝ ය.</verse>
				<verse number="17">සවස් වූ කල උන්වහන්සේ දොළොස් දෙනා සමඟ පැමිණි සේක.</verse>
				<verse number="18">ඔවුන් මේසයට හිඳ, ආහාර ගනිමින් සිටියදී, යේසුස්වහන්සේ කතා කරමින්, “සැබවින් ම මා ඔබට කියන්නම්; ඔබගෙන් කෙනෙක්, මා සමඟ ආහාර ගන්නා ඔබගෙන් කෙනෙක්, මා පාවා දෙන්නේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="19">ඔවුහු ශෝක වන්නට වී, එකිනෙකා උන්වහන්සේ අමතමින්, “ඒ මම දැ?” යි අසන්නට වූහ.</verse>
				<verse number="20">උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඒ, දොළොස් දෙනාගෙන් කෙනෙකි; මා සමඟ එක පතේ අත ලූ තැනැත්තා ය.</verse>
				<verse number="21">උන්වහන්සේ ගැන ලියවී ඇති පරිදි මනුෂ්‍ය පුත්‍රයා යනු ඇත. එහෙත් මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙන මිනිසාට වන විපතක මහත! ඒ මිනිසා නූපන්නා නම් ඔහුට වඩා හොඳ යැ” යි කී සේක.</verse>
				<verse number="22">ඔවුන් අහර ගනිමින් සිටියදී, යේසුස්වහන්සේ රොටි ගෙන, ඊට ආශිර්වාදය පවසා, එය කඩා, ගෝලයන්ට දෙමින්, “ගන්න; මේ මාගේ ශරීරය යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="23">ඉන්පසු උන්වහන්සේ කුසලානක් ගෙන, ස්තුති පුදා, ඔවුන්ට එය දුන් සේක. ඒ සියල්ලෝ එයින් පානය කළෝ ය.</verse>
				<verse number="24">උන්වහන්සේ ඔවුන් අමතා, “බොහෝ දෙනකු උදෙසා වගුරුවනු ලබන මාගේ ගිවිසුමේ ලෙය මෙයයි.</verse>
				<verse number="25">සැබවින් ම මා ඔබට කියන්නේ, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේදී අලුතින් පානය කරන තෙක්, නැවතත් මා මිදි වැලේ පලයෙන් පානය කරන්නේ නැතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="26">ගීතිකාවක් ගැයීමෙන් පසු, ඔවුහු ඔලීව කන්ද වෙත ගියහ.</verse>
				<verse number="27">යේසුස්වහන්සේ කතා කරමින්, “ඔබ හැම අතහැර යනු ඇත. මන්ද: “ ‘මම එඬේරාට පහර දෙන්නෙමි. එවිට බැටළුවෝ විසිරවනු ලබති’ යි ලියා තිබේ.</verse>
				<verse number="28">එහෙත් යළි මා නැගිටුවනු ලැබූ පසු, ඔබට කලින් මම ගලීලයට යන්නෙමි” යි පැවසූ සේක.</verse>
				<verse number="29">පේතෘස් කතා කරමින්, “හැමදෙනා ඔබ මඟහැර ගියත්, මා යන්නේ නැතැ” යි කී ය.</verse>
				<verse number="30">යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “සැබවින් ම මා ඔබට කියන්නම්, මේ රැයේ කුකුළා දෙවරක් හඬලන්නට පෙර, මා නාඳුනන බව තුන් වතාවක්ම ඔබ කියන්නේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="31">එහෙත් “ඔබ සමඟ මට මියෙන්නට සිදු වෙතත්, කිසි කලෙක මා ඔබ ප්‍රතික්ෂේප කරන්නේ නැතැ” යි පේතෘස් තරයේම ප්‍රකාශ කළේ ය. සැවොම එසේ කීහ.</verse>
				<verse number="32">ඔවුහු ගෙත්සෙමන නම් ස්ථානයට ගියහ. ගෝලයින් ඇමතූ උන්වහන්සේ, “මා යාච්ඤා කරන තුරු, මෙහි හිඳ සිටින්නැ” යි ඔවුනට කී සේක.</verse>
				<verse number="33">පේතෘස්, යාකොබ් හා යොහන් තමන් සමඟ ගෙන ගිය උන්වහන්සේ, මහත් සේ ශෝක වන්නටත්, කැලඹීමටත් පත් වන්නට වී,</verse>
				<verse number="34">ඔවුන් අමතමින්, “මැරෙන තරමට මගේ ජීවය ශෝකයෙන් මිරිකෙයි. මෙහි නැවතී අවදියෙන් ඉන්නැ” යි කී සේක.</verse>
				<verse number="35">එයින් මදක් ඔබ්බට ගිය උන්වහන්සේ බිම වැටී, හැකි නම් ඒ පැය තමන් වෙතින් ඉවත් කරන මෙන් යාච්ඤා කරමින්,</verse>
				<verse number="36">“අබ්බා පියාණෙනි, ඔබට හැම දෙයක්ම පුළුවන. මේ කුසලාන මාගෙන් ඉවත් කළ මැනව; එහෙත්, මාගේ කැමැත්ත නො ව, ඔබගේ කැමැත්ත වේවා” යි පැවසූ සේක.</verse>
				<verse number="37">උන්වහන්සේ ආපසු ගෝලයින් වෙත පැමිණ, ඔවුන් නිදා සිටිනු දැක, පේතෘස් අමතමින්, “සීමොන් ඔබ නිදි ද? ඔබට එක පැයක් අවදියෙන් ඉන්න බැරි වුණා ද?</verse>
				<verse number="38">පරීක්ෂාවට නො වැටෙන පිණිස අවදිව සිටිමින්, යාච්ඤා කරන්න. ආත්මය කැමතියි. එහෙත් මාංසය දුර්වල යැ” යි කී සේක.</verse>
				<verse number="39">නැවතත් ඉවතට ගිය උන්වහන්සේ එම වචන ම කියමින් යාච්ඤා කළ සේක.</verse>
				<verse number="40">උන්වහන්සේ ආපසු පැමිණි කල, ඔවුන් නැවතත් නිදා සිටිනු දුටු සේක. මන්ද ඔවුන්ගේ ඇස් නිදි බරව තිබිණි. උන්වහන්සේට කුමක් කියන්නදැයි ඔවුහු නො දත්හ.</verse>
				<verse number="41">උන්වහන්සේ තුන් වන වරටත් ඔවුන් වෙත පැමිණ, ඔවුන් අමතමින්, “ඔබ තවමත් නිදාගෙන විවේක ගන්නවා ද? දැන් ඇති; පැය පැමිණිලා; මනුෂ්‍ය පුත්‍රයාණන් පව්කරුවන්ගේ අත්වලට පාවා දෙනු ලබයි.</verse>
				<verse number="42">නැගිටින්න; අපි යමු. මෙන්න මා පාවා දෙන්නා එන්නේ යැ!” යි පැවසූ සේක.</verse>
				<verse number="43">එකෙණෙහි උන්වහන්සේ කතා කරද්දීම, දොළොස් දෙනාගෙන් කෙනකු වූ යූදස් ආවේ ය; ඔහු සමඟ කඩු මුගුරු රැගත් පිරිසක් වූහ. ඔවුහු නායක පූජකයින්, දහම් පඬිවරුන් හා වැඩිහිටියන් විසින් එවනු ලැබූවෝ වූහ.</verse>
				<verse number="44">“මම යමකු සිඹිම් ද තැනැත්තා ඔහුයි. ඔහු අල්ලා රැකවල් ලා, ගෙන යන්නැ” යි පාවා දෙන්නා ඔවුන්ට ලකුණක් දී තිබිණ.</verse>
				<verse number="45">මෙසේ ඔහු පැමිණ උන්වහන්සේ වෙත ගොස්, “රබ්බී” යි කියා උන්වහන්සේ සිප ගත්තේ ය.</verse>
				<verse number="46">ඔවුහු උන්වහන්සේ පිට අත් හෙළා, උන්වහන්සේ අත්අඩංගුවට ගත්හ.</verse>
				<verse number="47">ළඟ සිටියවුන්ගෙන් කෙනෙක් තම කඩුව ඇද උත්තම පූජකයාගේ දාසයාට කොටා, ඔහුගේ කන කපා දැමී ය.</verse>
				<verse number="48">ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “සොරෙකුට එරෙහිව මෙන් කඩු මුගුරු ගෙන නුඹලා මා අල්ලන්නට ආවා ද?</verse>
				<verse number="49">දවස්පතා මම දේව මාලිගයේ නුඹලා අතර උගන්වමින් සිටියෙමි; නුඹලා මා අල්ලා ගත්තේ නැත. එනමුත් ශුද්ධ ලියවිලි ඉෂ්ට විය යුතු යැ” යි කී සේක.</verse>
				<verse number="50">එවිට සැවොම උන්වහන්සේ හැර, පලා ගියහ.</verse>
				<verse number="51">හණ රෙද්දකින් පමණක් සිරුර වසා ගත් තරුණයෙක් උන්වහන්සේ පසුපස ගියේ ය. ඔවුන් ඔහු අල්ලාගත් කල,</verse>
				<verse number="52">ඔහු රෙද්ද හැර නිරුවතින් පලා ගියේ ය.</verse>
				<verse number="53">ඔවුහු උත්තම පූජකයා වෙත යේසුස්වහන්සේ ගෙන ගියහ. සියලු නායක පූජකවරු, වැඩිහිටියෝ හා දහම් පඬිවරු එහි රැස් වූහ.</verse>
				<verse number="54">පේතෘස් මදක් දුරින් පැමිණ, උන්වහන්සේ පසුපසින් උත්තම පූජක මැදුරේ මිදුලට ඇතුළු වී, මුරකරුවන් සමඟ හිඳ, ගිනි තපිමින් සිටියේ ය.</verse>
				<verse number="55">නායක පූජකවරු හා මුළු මන්ත්‍රණ සභාව යේසුස්වහන්සේ මරණයට පමුණුවන පිණිස, උන්වහන්සේට විරුද්ධ සාක්ෂි සෙවූ නමුත්, කිසිවක් සම්භ වූයේ නැත.</verse>
				<verse number="56">එහෙත් බොහෝ දෙනා උන්වහන්සේට විරුද්ධව බොරු සාක්ෂි දුන් නමුත් ඔවුන්ගේ සාක්ෂි ද නො ගැළපිණි.</verse>
				<verse number="57">එවිට ඇතමෙක් නැගිට, උන්වහන්සේට විරුද්ධව බොරු සාක්ෂි දෙමින්,</verse>
				<verse number="58">“ ‘අත්වලින් තැනූ මේ දේව මාලිගය කඩා දමා, තුන් දවසකින් මම අතින් නො තැනූ තවෙකක් ගොඩ නගමි’ කියා මොහු කියනවා අපට ඇසුණා” යි කීහ.</verse>
				<verse number="59">එහෙත් ඔවුන්ගේ මේ සාක්ෂිය ද ගැළපුණේ නැත.</verse>
				<verse number="60">එවිට ඔවුන් ඉදිරියේ නැගිට, උත්තම පූජකයා, යේසුස්වහන්සේ අමතා, “ඔබට දෙන්නට උත්තර නැති ද? මේ මිනිසුන් ඔබට විරුද්ධව ගෙනෙන මේ සාක්ෂිය කුමක් දැ?” යි ඇසී ය.</verse>
				<verse number="61">එහෙත් උන්වහන්සේ පිළිතුරු නො දී නිහඬව සිටි සේක. එවිට උත්තම පූජකයා කතා කොට, “ඔබ ක්‍රිස්තුස්වහන්සේ ද? ආශිර්වාද ලද්දාණන්වහන්සේගේ පුත්‍රයා දැ?” යි ඇසී ය.</verse>
				<verse number="62">“මම වෙමි” යි පැවසූ යේසුස්වහන්සේ, “තවද මනුෂ්‍ය පුත්‍රයාණන් බලවන්තයාණන්ගේ දකුණු පස අසුන් ගෙන සිටිනුත්, අහසේ වලාකුළු මතින් පැමිණෙනු ඔබ දකිනු ඇතැ” යි කී සේක.</verse>
				<verse number="63">එවිට උත්තම පූජකයා තම ඇඳිවත් ඉරා ගනිමින්, “තවත් සාක්ෂිකරුවන් අපට කුමට ද?</verse>
				<verse number="64">ඔබට ඇසුණා නො වේ ද මේ දේවාපහාසය! ඔබේ තීරණය කුමක් දැ?” යි පැවසී ය. ඔහු සුදුසු මරණයට යැයි සියල්ලෝ තීන්දු කළෝ ය.</verse>
				<verse number="65">එවිට ඇතමෙක් උන්වහන්සේට කෙළ ගසන්නටත්, උන්වහන්සේගේ ඇස් බැඳ, අත්මිටින් පහර දෙමින්, “දිවැසින් කියනු” යි කීහ. මුර සෙබළු පහර දෙමින් උන්වහන්සේ භාර ගත්හ.</verse>
				<verse number="66">පේතෘස් මැදුරේ පහළ මිදුලේ සිටියදී, උත්තම පූජකයාගේ සේවිකාවක් පැමිණ,</verse>
				<verse number="67">පේතෘස් ගිනි තපිමින් සිටිනු දැක, ඔහු දෙස ඕනෑකමින් බලා, “ඒ නාසරීය යේසුස් සමඟ ඔබත් සිටියා” යි කීවා ය.</verse>
				<verse number="68">එහෙත් එය ප්‍රතික්ෂේප කළ පේතෘස්, “ඔබ කියන්නේ මොනවාදැයි මා දන්නේ නෑ. මට තේරෙන්නෙත් නෑ” යි පවසා, මැදුරේ දොරටුව වෙත ගියේ ය. එවිට කුකුළා හැඬලී ය.</verse>
				<verse number="69">සේවිකාව ඔහු දැක, “මේ මිනිහා ඔවුන්ගෙන් කෙනෙකැ” යි ළඟ සිටියවුනට නැවතත් කීවා ය.</verse>
				<verse number="70">එහෙත් ඔහු නැවතත් එය ප්‍රතික්ෂේප කළේ ය. මද වේලාවකට පසු, ළඟ සිටි අය පේතෘස් අමතමින්, “නුඹ ඔවුන්ගේම කෙනෙක් තමයි; මන්ද නුඹ ගලීලයෙකැ” යි කීහ.</verse>
				<verse number="71">ඔහු තමාටම ශාප කර ගනිමින්, ඔවුන්ට දිවුරමින්, “ඔබ කියන මේ මිනිසා මා හඳුනන්නේ නෑ” යි කීවේ ය.</verse>
				<verse number="72">එකෙණෙහිම කුකුළා දෙවන වරට හැඬලී ය. එකල, “කුකුළා දෙවරක් හඬලන්නට පෙර, තුන් වරක්ම ඔබ මා හඳුනන්නේ නැතැ” යි යේසුස්වහන්සේ තමාට කී හැටි සිහි කළ පේතෘස්, දැඩි සංවේගයෙන් වැලපුණේ ය.</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">උදය වූ විගස නායක පූජකවරු, දහම් පඬිවරුන් හා වැඩිහිටියන් හා මුළු මන්ත්‍රණ සභාව සමඟ සාකච්ඡා කොට, යේසුස්වහන්සේ බැඳ, ගෙන ගොස්, පිලාත්ට භාර දුන්හ.</verse>
				<verse number="2">පිලාත්, “ඔබ යුදෙව්වන්ගේ රජ දැ?” යි උන්වහන්සේගෙන් ඇසුවේ ය. “එසේ කීවේ ඔබ යැ” යි යේසුස්වහන්සේ කී සේක.</verse>
				<verse number="3">නායක පූජකවරු උන්වහන්සේට එරෙහිව බොහෝ දෑ ගැන චෝදනා කළහ.</verse>
				<verse number="4">පිලාත් උන්වහන්සේගෙන් ප්‍රශ්න කරමින්, “ඔබට පිළිතුරක් නැති ද? බලන්න, මොවුන් ඔබට එරෙහිව මොන තරම් චෝදනා නඟනවා දැ?” යි කීවේ ය.</verse>
				<verse number="5">එහෙත් යේසුස්වහන්සේ පිළිතුරක් නො දී සිටි සේක. පිලාත් මවිත විය.</verse>
				<verse number="6">ඔවුන් ඉල්ලන එක් සිරකරුවකු මංගල්‍යයේදී නිදහස් කරදෙන සිරිතක් විය.</verse>
				<verse number="7">සිරගත කැරලිකරුවන් අතරේ, කැරැල්ලකදී මිනී මැරූ බරබ්බස් නැමැත්තෙක් ද සිටියේ ය.</verse>
				<verse number="8">පිලාත් වෙත පැමිණි සමූහයා, සිරිත් පරිදි තමන්ට කර දෙන්නැයි ඉල්ලන්ට වන්හ.</verse>
				<verse number="9">ඔහු ඔවුන්ට උත්තර දෙමින්, “මා ඔබට යුදෙව්වන්ගේ රජ නිදහස් කර දෙනවාට ඔබ කැමති දැ?” යි ඇසී ය.</verse>
				<verse number="10">මන්ද නායක පූජකයින් තමා ඉදිරියට උන්වහන්සේ ගෙනාවේ ඊර්ෂ්‍යාව නිසා වග පිලාත් දැන සිටියේ ය.</verse>
				<verse number="11">එහෙත් ඒ වෙනුවට, තමන්ට බරබ්බස් නිදහස් කර ගැනීමට නායක පූජකවරු ජනයා පෙලඹ වූහ.</verse>
				<verse number="12">“එසේ නම්, යුදෙව්වන්ගේ රජ යයි ඔබ කියන මේ මිනිසා ගැන මම කුමක් කරම් දැ?” යි පිලාත් නැවතත් ඔවුන්ගෙන් ඇසුවේ ය.</verse>
				<verse number="13">“ඔහු කුරුසියේ ඇණ ගසනු!” යි ඔවුහු කෑ ගැසූහ.</verse>
				<verse number="14">පිලාත් ඔවුන්ට කතා කරමින්, “ඇයි? මොහු මොන අපරාධයක් කළාට දැ?” යි ඇසී ය. එහෙත් ඔවුහු, “ඔහු කුරුසියේ ඇණ ගසනු!” යි වඩ වඩා මොර ගසන්නට වූහ.</verse>
				<verse number="15">එබැවින් පිලාත් සමූහයා සතුටු කරන අදහසින් ඔවුනට බරබ්බස් නිදහස් කර දී, යේසුස්වහන්සේට කසයෙන් තලවා, කුරුසියේ ඇණ ගසනු පිණිස භාර කළේ ය.</verse>
				<verse number="16">හේවායෝ ප්‍රේතෝරියම් නම් වූ ආණ්ඩුකාර මූලස්ථානයට උන්වහන්සේ ගෙන ගොස්, මුළු සේනාංකයම කැඳවූහ.</verse>
				<verse number="17">ඔවුහු යේසුස්වහන්සේට දම් පැහැති ලෝගුවක් හඳවා, කටු ඔටුන්නක් ගොතා, එය උන්වහන්සේගේ හිස මත තබා,</verse>
				<verse number="18">“යුදෙව් රජු දිනේවා!” යි ආචාර කරන්නට වූහ.</verse>
				<verse number="19">ඔවුහු බට දණ්ඩකින් උන්වහන්සේගේ හිසට යළි යළි පහර දෙමින්, උන්වහන්සේට කෙළ ගසමින්, දණින් වැටී නමස්කාර කළහ.</verse>
				<verse number="20">මෙසේ උන්වහන්සේට සරදම් කළ පසු, දම් පැහැති ලෝගුව ගලවා, උන්වහන්සේගේ ඇඳුම් හැඳවූ ඔවුහු, ඉන්පසු කුරුසිපත් කරන පිණිස, උන්වහන්සේ පිටතට ගෙන ගියහ.</verse>
				<verse number="21">ඇලෙක්සන්ඩර්ගේ හා රූපස්ගේ පියා වූ, ගම්බද සිට නගරයට එමින් සිටි මගියකු වූ සිරේනියායනු සීමොන්ට උන්වහන්සේගේ කුරුසිය උසුලාගෙන යෑමට ඔවුහු බල කළහ.</verse>
				<verse number="22">ඔවුහු හිස්කබල යන අර්ථයෙන් හැඳින් වූ ගොල්ගොතා යන ස්ථානයට උන්වහන්සේ ගෙන ආහ.</verse>
				<verse number="23">ඔවුහු සුවඳලාටු මුසු මිදි යුෂ උන්වහන්සේට දුන් නමුත්, උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කළ සේක.</verse>
				<verse number="24">කුරුසියේ උන්වහන්සේ ඇණ ගැසූ ඔවුහු, උන්වහන්සේගේ වස්ත්‍ර බෙදා ගනිමින්, තමාට ලැබෙන්නේ කුමක්දැයි දැනගැනීමට දාදු දැමූහ.</verse>
				<verse number="25">ඔවුන් උන්වහන්සේ කුරුසිපත් කරන විට තුන් වන පැය විය.</verse>
				<verse number="26">උන්වහන්සේට එරෙහි චෝදනාව වශයෙන් ලියූ පුවරුවක් විය: “යුදෙව්වන්ගේ රජු.”</verse>
				<verse number="27">එකකු උන්වහන්සේගේ දකුණු පසින් හා අනෙකා වම් පසින් සිටින සේ එහි උන්වහන්සේ සමඟ සොරුන් දෙදෙනෙක් ද ඔවුහු කුරුසිපත් කළහ.</verse>
				<verse number="28">“උන්වහන්සේ අපරාධකරුවන් සමඟ ගණන් ගනු ලැබූ සේක” යන ශුද්ධ ලියවිලි පාඨය මෙසේ සම්පූර්ණ විය.</verse>
				<verse number="29">එතැන පසුකර ආ-ගිය අය ඔවුන්ගේ හිස් වනමින්, උන්වහන්සේට නින්දා-ගැරහුම් කරමින්, “දේව මාලිගාව කඩා තුන් දවසකින් එය යළි ගොඩ නගන නුඹ,</verse>
				<verse number="30">කුරුසියෙන් බැස නුඹම ගැලවෙනු!” යි කීහ.</verse>
				<verse number="31">නායක පූජකවරු ද දහම් පඬිවරු ද එලෙසම ඔවුනොවුන් අතර උන්වහන්සේට සමච්චල් කරමින්, “ඔහු අනුන් ගැලෙව්වා! එහෙත් තමාම ගලවා ගන්න බැහැ!</verse>
				<verse number="32">අප එය දැක බලා, විශ්වාස කරන පිණිස, ඉශ්‍රායෙල් රජ්ජුරුවන් වන මේ ක්‍රිස්තුස් දැන්ම කුරුසියෙන් බැස ආවාවේ!” යි කීහ. උන්වහන්සේ සමඟ කුරුසිපත් කරනු ලැබූවෝ ද උන්වහන්සේට නින්දා අපහාස කළහ.</verse>
				<verse number="33">හයවන පැය පැමිණි කල, නව වන පැය දක්වා දේශය මුළුල්ලේ අන්ධකාරයක් විය.</verse>
				<verse number="34">නව වන පැයේදී උස් හඬ නගා මොර ගැසූ යේසුස්වහන්සේ, “ඒලොයි, ඒලොයි ලාමා සබක්තානි?” යි පැවසූ සේක. එහි අරුත, “මාගේ දෙවියන්වහන්ස, මාගේ දෙවියන්වහන්ස, ඔබ මා අත්හැරියේ මන්ද?” යනුයි.</verse>
				<verse number="35">එවිට ඒ ඇසූ ඒ අසල සිටියවුන්ගේ ඇතමෙක්, “අන්න! ඔහු එලියාට හඬගසනවා යැ” යි කීහ.</verse>
				<verse number="36">ඔවුන්ගෙන් කෙනෙක් දුව ගොස් මූදු හත්තක් මිදි යුෂ විනාකිරෙන් පොඟවා, දණ්ඩක අමුණා, උන්වහන්සේගේ මුවට ළං කරමින්, “බලන් ඉන්න. ඔහු බිමට ගන්න එලියා ඒදැයි බලමු” යි කී ය.</verse>
				<verse number="37">මහ හඬ ගෑමකින්, යේසුස්වහන්සේ අවසන් හුස්ම හෙළූ සේක.</verse>
				<verse number="38">දේව මාලිග තිරය, ඉහළ සිට පහළට දෙකඩව පැළිණි.</verse>
				<verse number="39">උන්වහන්සේ ඉදිරිපිට සිටි සියයේ සේනාධිපතියා, උන්වහන්සේ අවසන් හුස්ම හෙළූ අයුරු දැක, “මේ මිනිසා නිසැකයෙන්ම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ම වී යැ!” යි පැවසී ය.</verse>
				<verse number="40">ස්ත්‍රීන් ඇතැම් දෙනෙක් දුර සිට බලා සිටියහ. ඔවුන් අතර මග්දලාහි මරියා ද බාල යාකොබ්ගේ හා යෝසෙස්ගේ මව වූ මරියා ද සලෝමි ද වූහ.</verse>
				<verse number="41">උන්වහන්සේ ගලීලයේ සිටියදී උන්වහන්සේ අනුව ගිය ඔවුන් උන්වහන්සේට උපස්ථාන කර තිබිණි. උන්වහන්සේ සමඟ යෙරුසලමට පැමිණි තවත් ස්ත්‍රීන් බොහෝ දෙනෙක් ද එහි වූහ.</verse>
				<verse number="42">එය සූදානම් වීමේ දවස ය. එනම්, සබතට පෙර දවස ය. එබැවින් සවස් වූ කල,</verse>
				<verse number="43">උසස් මන්ත්‍රණ සභිකයකු වූ අරමාතියේ යෝසෙප්, එඩිතරව පිලාත් වෙත ගොස් යේසුස්වහන්සේගේ දේහය ඉල්ලා සිටියේ ය. ඔහු දෙවියන්වහන්සේගේ රාජ්‍යය බලා සිටි කෙනකු ද විය.</verse>
				<verse number="44">උන්වහන්සේ ඒ වන විටත් මිය ගොසිනැයි ඇසූ පිලාත් මවිත වී, සියයේ හේවා භාර නිලධාරියා ගෙන්වා, ඔහු දැනටමත් මිය ගොහින් ද යන වග ඇසී ය.</verse>
				<verse number="45">උන්වහන්සේ මිය ගිය වග සියයේ හේවා භාර නිලධාරියාගෙන් දැනගත් පිලාත්, යෝසෙප්ට දේහය අනුමත කළේ ය.</verse>
				<verse number="46">යෝසෙප් සිහින් හණ රෙද්දක් මිලට ගෙන අවුත්, උන්වහන්සේගේ දේහය බිමට බාවා, එම හණ රෙද්දෙන් ඔතා, පර්වතයක් කැණ සකසා තිබූ සොහොනක දේහය තැන්පත් කළේ ය. ඔහු ලෙන් පිවිසුමට මහත් ගලක් පෙරළා දොරකඩ වැසී ය.</verse>
				<verse number="47">මග්දලාහි මරියා හා යෝසෙස්ගේ මව වූ මරියා උන්වහන්සේ තැන්පත් කළ ස්ථානය දුටුවහ.</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">සබත නිම වූ පසු ගොස්, උන්වහන්සේ ආලේප කරන පිණිස, මග්දලාහි මරියා, යාකොබ්ගේ මව වූ මරියා හා සලෝමි සුවඳ ද්‍රව්‍ය මිලට ගත්හ.</verse>
				<verse number="2">සතියේ පළමු දින උදෙන් හිරු උදාව සමඟ සොහොන් ලෙන වෙත ගිය ඔවුහු,</verse>
				<verse number="3">ඔවුනොවුන් අමතමින්, “ලෙන් දොරකඩ තිබෙන ගල අපට ඉවත පෙරළා දෙන්නේ කවුරු දැ?” යි කීහ.</verse>
				<verse number="4">එහෙත් ඔවුන් ඉහළ බැලූ කල, අති විශාල එම ගල ඉවතට පෙරළා තිබෙනු දුටුවහ.</verse>
				<verse number="5">ලෙන තුළට ඇතුළු වූ ඔවුහු එහි දකුණු පස සුදු ලෝගුවක් හැඳි තරුණයකු වාඩි වී සිටිනු දැක භීත වූහ.</verse>
				<verse number="6">එහෙත් ඔහු කතා කොට, “බය වන්න එපා; ඔබ සොයන්නේ කුරුසියේ ඇණ ගසන ලද නාසරෙත්හි යේසුස්වහන්සේයි. උන්වහන්සේ නැගිටුණා! උන්වහන්සේ මෙහි නැත. බලන්න! ඔවුන් උන්වහන්සේ තැන්පත් කළ තැන!</verse>
				<verse number="7">එහෙත් දැන් උන්වහන්සේගේ ගෝලයින් හා පේතෘස් වෙත ගොස්, ‘උන්වහන්සේ ඔබට කලින් ගලීලයට යන වගත්, උන්වහන්සේ ඔබට පැවසූ ලෙස එහිදී ඔබ උන්වහන්සේ දකිනු ඇති වගත් කියන්නැ’ යි” පැවසී ය.</verse>
				<verse number="8">එහෙත් ඔවුන් පිට වී, සොහොන වෙතින් පලා ගියහ. වෙවුලුම හා විශ්මය ඔවුන් වෙළාගත් බැවින් ඔවුන් කිසිවකුට කිසිවක් කීවේ නැත. මන්ද ඔවුහු බයවී සිටියහ. [ඇතැම් පුරාණ පිටපත්වල 9–20 දක්වා කොටස ඇතුළත් නො වේ.]</verse>
				<verse number="9">සතියේ පළමු දවසේ වේලාසන නැගුටුණු පසු, උන්වහන්සේ පළමු කොට, මග්දලාහි මරියාට පෙනුණු සේක; ඈ උන්වහන්සේ විසින් යක්ෂාත්මයන් සත් දෙනකු දුරු කරන ලද තැනැත්තිය ය.</verse>
				<verse number="10">මරියා ගොස්, කලින් උන්වහන්සේ සමඟ සිටියවුන් අඬා වැලපෙමින් සිටියදී ඒ වග කීවා ය.</verse>
				<verse number="11">එහෙත්, උන්වහන්සේ ජීවත්ව සිටින බවත්, ඈ උන්වහන්සේ දුටු බවත් ඇසූ ඔවුන් එය විශ්වාස කළේ නැත.</verse>
				<verse number="12">මේ දේවලට පසු ඔවුන්ගෙන් දෙදෙනෙක් ගම් පෙදෙසට යද්දී, උන්වහන්සේ වෙනත් ස්වරූපයකින් ඔවුන්ට පෙනුණු සේක.</verse>
				<verse number="13">ඔවුන් ආපසු පැමිණ, අනෙක් අයට කී නමුදු ඔවුන් කී දේ ද ඔවුන් විශ්වාස කළේ නැත.</verse>
				<verse number="14">පසුව එකොළොස් දෙනා කෑමට හාන්සි වී සිටියදී, උන්වහන්සේ ඔවුන්ට පෙනී, ඔවුන්ගේ විශ්වාසය නැතිකම හා සිත් දැඩිකම ගැන ඔවුන්ට තරවටු කළ සේක. මන්ද උන්වහන්සේ නැගිටුණු පසු, උන්වහන්සේ දුටු අය කී දේ ඔවුන් විශ්වාස කළේ නැති බැවිනි.</verse>
				<verse number="15">ඉන්පසු උන්වහන්සේ ඔවුන් අමතා, “ලෝකය පුරා ගොස් සකල මැවිල්ලටම ශුභාරංචිය ප්‍රකාශ කරන්න.</verse>
				<verse number="16">අදහා ගන්නා වූ, බව්තීස්ම කරනු ලබන්නා වූ කවුරුන් වුවත් ගලවනු ලබන්නේ ය. එහෙත් අදහා ගන්නේ නැති කවුරුන් වුවත් වරදට පත් කරනු ලබන්නේ ය.</verse>
				<verse number="17">අදහන්නන් සමඟ පවතින ලකුණු මෙසේ ය; මාගේ නාමයෙන් ඔවුන් යක්ෂාත්මයන් දුරු කරනු ඇත; අලුත් භාෂාවලින් කතා කරනු ඇත.</verse>
				<verse number="18">ඔවුන් තම අත්වලින් සර්පයින් අල්ලා ගනු ඇත; ඔවුන් මරණීය විස පානය කළත් ඔවුන්ට එයින් කිසිදු අනතුරක් වන්නේ නැත; ඔවුන් රෝගීන් පිට අත් තබනු ඇත; එවිට ඔවුන් සුවය ලබනු ඇතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="19">යේසුස් ස්වාමින්වහන්සේ ඔවුන් සමඟ කතා කොට නිම වූ පසු, ස්වර්ගයට ඔසවා ගනු ලැබූ සේක්, දෙවියන්වහන්සේගේ දකුණු පස අසුන් ගත් සේක.</verse>
				<verse number="20">ඉන්පසු ගෝලයෝ පිට වී ගොස්, හැම තැන ශුභාරංචිය දේශනා කළහ. ස්වාමින්වහන්සේ ඔවුන් සමඟ ක්‍රියා කරමින්, ලකුණු අනුසාරයෙන් පණිවුඩය සහතික කළ සේක.</verse>
			</chapter>
		</book>
		<book number="42">
			<chapter number="1">
				<verse number="1">අප අතර ඉටු වූ දෑ ගැන වාර්තාවක් සම්පාදන කිරීම බොහෝ දෙනකුම බාරගෙන ඇත්තේ,</verse>
				<verse number="2">ඒවා මුල පටන් ඇසින් දුටු සාක්ෂිකරුවන් හා වචනයේ සේවකයින් අපට බාර දුන් දෑ අනුව ය.</verse>
				<verse number="3">මුල සිට ඒ සියලු දෑ විමසා බැලූ පසු, ඒවා අනුපිළිවෙලින් ඔබට ලියා එවීම මැනවයි මා අදහස් කළේ, ගරු තියෝපිලස් තුමනි,</verse>
				<verse number="4">ඔබට උගන්වන ලද දෑ පිළිබඳ නියත අවබෝධයක් එමඟින් ඔබට ලැබිය හැකි බැවිනි.</verse>
				<verse number="5">යුදයේ රජු වූ හෙරෝද්ගේ දවස්හි, අබියාගේ කාණ්ඩයට අයත් සෙකරියස් නම් පූජකයෙක් විසී ය. ඔහුට ආරොන්ගේ දියණියන්ගෙන් භාර්යාවක වූවා ය. ඈ නමින් එලිසබෙත් ය.</verse>
				<verse number="6">ස්වාමින්වහන්සේගේ සියලු අණ හා පණත්වල නිර්දෝෂීව හැසුරුණු මොවුන් දෙදෙනා, දෙවියන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨයින් වූහ.</verse>
				<verse number="7">එහෙත් ඔවුනට දරුවන් සිටියේ නැත; මන්ද එලිසබෙත් වඳ ස්ත්‍රියක වූවා ය; තවද ඔවුන් දෙදෙනාම සිටියේ වයස් ගතව ය.</verse>
				<verse number="8">දේව මෙහෙවර සඳහා වාරය තම කාණ්ඩයට බාර වූ විටෙක, සෙකරියස් දෙවියන්වහන්සේ ඉදිරියේ පූජක මෙහෙයයේ යෙදෙමින් සිටියේ,</verse>
				<verse number="9">පූජකත්වයේ චාරිත්‍රයට අනුව ස්වාමින්වහන්සේගේ මාලිගයට ඇතුල්ව, සුවඳ දුම් දැවීමේ වාරය පස ඇට දැමීමෙන් ඔහු තෝරාගනු ලැබීමෙනි.</verse>
				<verse number="10">සුවඳ දුම් පුදන වේලේ සියලු බැතිමත්හු පිටත මළුවේ යාච්ඤා කරමින් වුන්හ.</verse>
				<verse number="11">එවිට ස්වාමින්වහන්සේගේ දූතයෙක්, දුම් පූජාසනයට දකුණු පස සිටගෙන සිටිනු ඔහුට පෙනුණේ ය.</verse>
				<verse number="12">ඔහු දුටු සෙකරියස් කලබල වී, බයින් ඇලළී ගියේ ය.</verse>
				<verse number="13">එහෙත් දේව දූතයා ඔහු අමතමින්, “බය නො වන්න සෙකරියස්, ඔබගේ යාච්‍ඤාව අසනු ලැබ ඇත; ඔබේ භාර්යාව එලිසබෙත්, ඔබට පුතකු බිහි කර දෙනු ඇත. ඔබ ඔහුට යොහන් යන නම තැබිය යුතු ය.</verse>
				<verse number="14">ඔහු නිසා ඔබට ප්‍රීතිය හා සොම්නස අත්වෙයි. ඔහුගේ උපත ගැන බොහෝ දෙනකු ප්‍රමෝද වනු ඇත.</verse>
				<verse number="15">මන්ද ඔහු ස්වාමින්වහන්සේ හමුවේ විශිෂ්ටයකු වනු ඇත. ඔහු මිදි යුෂ හෝ සැරබීම පානය නො කළ යුතු ය. මව් කුස තුළ පටන් ඔහු ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වනු ඇත.</verse>
				<verse number="16">ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයින්ගෙන් බොහෝ දෙනකු ඔවුන්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ වෙත යළි හරවනු ඇත.</verse>
				<verse number="17">තවද පියවරුන්ගේ අවධානය දරුවන් වෙත ද අකීකරුවූවන් ධර්මිෂ්ඨ ප්‍රඥාවට ද හැරවීමට එලියාගේ ආත්මයෙන් හා බලයෙන් යුක්තව, ස්වාමින්වහන්සේට යෝග්‍ය ලෙස ජනතාවක් හැඩ ගස්වමින්, ඔහු උන්වහන්සේට පෙරටුවෙන් යනු ඇතැ” යි පැවසී ය.</verse>
				<verse number="18">එවිට සෙකරියස් දේව දූතයා අමතමින්, “මා මෙය දැනගන්නේ කෙසේ ද? මා දැන් මහලුයි; මගේ භාර්යාවත් වයසට ගොස් ඇතැ” යි කීවේ ය.</verse>
				<verse number="19">එවිට දේව දූතයා පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේ ඉදිරියේ සිටගන්නා ගාබ්‍රියෙල් මමයි. මා එවන ලද්දේ ඔබ සමඟ කතා කොට, මේ ශුභාරංචිය ඔබට දන්වන්නටයි.</verse>
				<verse number="20">ඔන්න, මේ දෑ සිද්ධවන දවස දක්වා ඔබ කතා කරන්නට බැරිව, නිහඬව සිටිනු ඇත; මන්ද නිසි කල්හි ඉෂ්ට වන මගේ වචන ඔබ විශ්වාස කළ නැති නිසා යැ” යි පැවසී ය.</verse>
				<verse number="21">ඒ අතර, සෙකරියස් එන තෙක් බලා සිටි ජනයා, දේව මාලිගය ඇතුළත ඔහු පමා වන්නේ ඇයි දැයි පුදුම වෙමින් සිටියහ.</verse>
				<verse number="22">ඔහු පිටතට ආ කල, ඔවුනට කිසිවක් පැවසීමට ඔහු අපොහොසත් වූයෙන්, දේව මාලිගය තුළදී ඔහු යම් දර්ශනයක් දකින්නට ඇති වග ඔවුහු වටහා ගත්හ. ඔහු කතා බැරිව, ඔවුනට සංඥා කරන්නට වන්නේ ය.</verse>
				<verse number="23">තමාට නියමිත මෙහෙවර කාලය ගෙවුණු පසු, ඔහු තම නිවසට ආපසු ගියේ ය.</verse>
				<verse number="24">මේ දවස්වලට පසු, ඔහුගේ භාර්යාව, එලිසබෙත් ගැබ් ගෙන, පස් මසක් සැඟවී වෙසෙමින්,</verse>
				<verse number="25">“ස්වාමින්වහන්සේ මා දෙස බලා, මෙසේ කළ සේක, මේ දවස්හි ජනයා අතර වූ මගේ නින්දාව පහ කළ සේකැ” යි කීවා ය.</verse>
				<verse number="26">සවැනි මස දේව දූත ගාබ්‍රියෙල්, දෙවියන්වහන්සේ වෙතින් ගලීලයේ නාසරෙත් පුර</verse>
				<verse number="27">කන්‍යාවක වෙත යවන ලදී. දාවිත්ගේ පෙළපතේ මනුෂ්‍යයකු වූ යෝසෙප් නැමැත්තකුට විවාහ ගිවිසි මෙම කන්‍යාවගේ නම මරියා ය.</verse>
				<verse number="28">දේව දූතයා ඇය වෙත පැමිණ, “සැරදේවා! ඉමහත් ප්‍රසාද ලත් තැනැත්තිය, ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේකැ” යි කීවේ ය.</verse>
				<verse number="29">ඒ කියමනෙන් මහත් සේ කැලඹුණු ඕ, ඒ කවර අන්දමේ ආචාරයක් දෝයි සිතන්නට වූවා ය.</verse>
				<verse number="30">දේව දූතයා ඇය අමතමින්, “බය වන්න එපා මරියා. ඔබට දෙවියන්වහන්සේගේ ප්‍රසාදය ලැබිලා.</verse>
				<verse number="31">ඔන්න, ඔබේ ගර්භයේ දරුවකු පිළිසිඳ, ඔබ පුතකු බිහි කරනු ඇත. යේසුස් යන නමින් ඔබ උන්වහන්සේ ඇමතිය යුතු ය.</verse>
				<verse number="32">උන්වහන්සේ උත්තම වන සේක්, පරමෝත්තම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ යයි හඳුන්වනු ලබන සේක. උන්වහන්සේගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය, ස්වාමින්වහන්සේ වූ දෙවියන්වහන්සේ උන්වහන්සේට දෙන සේක.</verse>
				<verse number="33">උන්වහන්සේ යාකොබ් වංශය කෙරෙහි සදහට ම රජකම් කරන සේක. උන්වහන්සේගේ රාජ්‍යයට අවසානයක් නැත්තේ යැ” යි කීවේ ය.</verse>
				<verse number="34">එවිට මරියා දේව දූතයා අමතා, “මා කන්‍යාවකව සිටියදී එහෙම වෙන්නේ කොහොම දැ?” යි ඇසුවා ය.</verse>
				<verse number="35">දේව දූතයා ඇයට පිළිතුරු දෙමින්, “ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ කරා එන සේක. පරමෝත්තමයාණන්ගේ ආනුභාවය ඔබ වසාගනු ඇත. එබැවින් උපදින දරුවා ශුද්ධ ය, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයි කියනු ලබන්නාහ.</verse>
				<verse number="36">බලන්න, ඔබේ නෑයා, එලිසබෙත් ඇගේ මහලු වයසේ පුතකු පිළිසිඳගෙන! වඳ එකියෙකැයි කියනු ලැබූ ඈ දැන් හය මසක ගැබිණියක්.</verse>
				<verse number="37">මන්ද දෙවියන්වහන්සේ පැවසූ කිසි වචනයක් බල රහිත නො වන්නේ යැ” යි පැවසී ය.</verse>
				<verse number="38">මරියා පිළිතුරු දෙන්නී, “මෙන්න මා, ස්වාමින්වහන්සේගේ දාසියයි. ඔබ කී වචනය ලෙස මට සිදු වේවා” යි කීවා ය. දේව දූතයා ඇය වෙතින් පිටත්ව ගියේ ය.</verse>
				<verse number="39">එදවස්හි මරියා සූදානම්ව, යුදයේ කඳුකර නගරයකට යුහු යුහුව ගොස්,</verse>
				<verse number="40">සෙකරියස්ගේ නිවසට ඇතුල්ව, එලිසබෙත්ට ආචාර කළා ය.</verse>
				<verse number="41">මරියාගේ ආචාරය ඇසුණු කල, එලිසබෙත්ගේ කුසෙහි දරුවා පැන නැංගේ ය. එවිට ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් පූර්ණ වූ එලිසබෙත්,</verse>
				<verse number="42">උස් හඬ නගා කියන්නී, “ස්ත්‍රීන් අතරින් ඔබ ආශිර්වාද ලද්දී ය. ඔබ කුස ඔත් දරු පලය ද ආශිර්වාදිතයි.</verse>
				<verse number="43">එනමුත්, මාගේ ස්වාමින්වහන්සේගේ මෑණියන් මා වෙත ඒමට තරම් ගෞරවයක් මා ලද්දේ කුමක් හෙයින් ද?</verse>
				<verse number="44">බලන්න, ඔබගේ ආචාර හඬ මට ඇසුණු සැණේ, මා කුස ඔත් ළදරුවා ප්‍රීතියෙන් පැන්නා.</verse>
				<verse number="45">ස්වාමින්වහන්සේ ඇයට පැවසූ දෑ ඉෂ්ට වෙතැයි විශ්වාස කළ තැනැත්තිය ආශිර්වාදිත යැ!” යි කීවා ය.</verse>
				<verse number="46">එවිට මරියා මෙසේ පැවසුවා ය: “මාගේ ජීවය ස්වාමින්වහන්සේ වර්ණනා කරයි;</verse>
				<verse number="47">මාගේ ගැලවුම්කරුවාණන් වන දෙවියන්වහන්සේ තුළ මාගේ ආත්මය ප්‍රීති වෙයි.</verse>
				<verse number="48">මන්ද තම දාසියගේ පහත්කම, උන්වහන්සේ සැලකූ සේක; දැන් මෙන්න, මෙතැන් පටන් හැම පරපුරක්ම, ආශිර්වාද ලද්දී ය කියා මට කියනු ඇත.</verse>
				<verse number="49">මන්ද පරාක්‍රමයාණන්වහන්සේ මා උදෙසා මහත් දේ කළ සේක. උන්වහන්සේගේ නාමය පාරිශුද්ධ ය.</verse>
				<verse number="50">උන්වහන්සේගේ දයාව, පරපුරෙන් පරපුරට, උන්වහන්සේට බය ඇත්තන්ට ය.</verse>
				<verse number="51">උන්වහන්සේ තම බාහුවෙන් ශක්තිය පෙන්වූ සේක; තම හදවත් තුළ උඩඟු සිතිවිලි ඇත්තන් උන්වහන්සේ විසිරවූ සේක.</verse>
				<verse number="52">උන්වහන්සේ අධිපතීන් ඔවුන්ගේ සිංහාසනවලින් පහකර, නිහතමානීන් ඔසවා තැබූ සේක.</verse>
				<verse number="53">උන්වහන්සේ සාගිනි වූවන් යහ දෙයින් පුරවා, ධනවතුන් හිස් අතින් ඉවත යැවූ සේක්,</verse>
				<verse number="54">උන්වහන්සේට තම දයාව සිහි ගන්වමින් තම සේවක ඉශ්‍රායෙල්ට උපකාර කළේ,</verse>
				<verse number="55">අප පියවරුනට, ආබ්‍රහම්ට හා සදහට ම ඔහුගෙන් පැවත එන්නන්ට, උන්වහන්සේ කතා කළ පරිද්දෙනි.”</verse>
				<verse number="56">එලිසබෙත් සමඟ තෙමසක් පමණ නැවතී සිටි මරියා, තම නිවසට ආපසු ආවා ය.</verse>
				<verse number="57">එලිසබෙත්ට ප්‍රසූති කාලය පැමිණි කල, ඕ පුතකු බිහි කළා ය.</verse>
				<verse number="58">ස්වාමින්වහන්සේ ඇයට පෑ මහත් දයාව ගැන ඇසූ ඇගේ නෑයෝ හා අසල්වැසියෝ ඇය සමඟ ප්‍රීති වූහ.</verse>
				<verse number="59">අට වන දවසේ, දරුවා චර්මඡේද කරන්නට පැමිණි ඔවුහු, ඔහුගේ පියාට අනුව, ඔහුට සෙකරියස් යන නම තබන්නට සැරසුණහ.</verse>
				<verse number="60">එහෙත් ඔහුගේ මව කතා කරමින්, “නැත; ඔහු යොහන් නමින් හඳුන්වන්නට ඕනෑ” යි කීවා ය.</verse>
				<verse number="61">“ඔබේ පවුලේ කිසිවකුටත් එවැනි නමක් නැතැ” යි ඔවුහු ඇයට පැවසූහ.</verse>
				<verse number="62">ඉන්පසු ඔවුහු, ඔහුගේ පියා ඔහුට කවර නමක් දීමට කැමැත්තේදැයි විමසමින් ඔහුට සංඥා කළහ.</verse>
				<verse number="63">එවිට ඔහු ලියන ලෑල්ලක් ඉල්ලා ගෙන, “ඔහුගේ නම යොහන්” කියා ලීවේ ය. එවිට සියල්ලෝ විස්මිත වූහ.</verse>
				<verse number="64">එකෙණෙහි ඔහුගේ මුව විවරව, ඔහුගේ දිව ලිහී, ඔහු දෙවියන්වහන්සේ පසසමින් කතා කළේ ය.</verse>
				<verse number="65">අසල්වාසී සියල්ලෝ බයින් ඇලළී ගියෝ ය; යුදයේ කඳුකරය පුරා වූ ජනයා මේ දෑ ගැන කතා කරන්නට වන්හ.</verse>
				<verse number="66">මේ ගැන ඇසූ සැවොම එය සිත්හි තබාගෙන, “ඉතින් මේ දරුවා කෙබඳු කෙනෙක් වේදෝ?” යි කීහ. මන්ද ස්වාමින්වහන්සේගේ හස්තය ඔහු පිට පැවතියේ ය.</verse>
				<verse number="67">ඔහුගේ පියා වූ සෙකරියස්, ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව, මෙසේ දිවැස් වැකි පැවසී ය:</verse>
				<verse number="68">“ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන, ස්වාමින්වහන්සේට තුති පැසසුම් වේවා; මන්ද උන්වහන්සේ ස්වකීය ජනයා වෙත පැමිණ, ඔවුන් මිදූ සේක,</verse>
				<verse number="69">සිය සේවක දාවිත්ගේ පෙළපතින් ගැලවීමේ අඟක් උන්වහන්සේ අපට නැගිටුවා දුන්නේ,</verse>
				<verse number="70">ඉහතදී තම ශුද්ධ දිවැසිවරුන්ගේ මුඛයෙන් උන්වහන්සේ පවසා තිබූ පරිද්දෙන්,</verse>
				<verse number="71">අපගේ සතුරන්ගෙන් හා අපට වෛර කරන සියල්ලන් අතින් අප ගලවනු ලැබීමට ය.</verse>
				<verse number="72">අපගේ පියවරුනට පොරොන්දු වූ දයාව පෙන්වීමට හා උන්වහන්සේගේ ශුද්ධ ගිවිසුම සිහිකිරීමට ය.</verse>
				<verse number="73">අපගේ පිය වූ ආබ්‍රහම්ට දිවුළ ඒ දිවුරුම,</verse>
				<verse number="74">අපගේ සතුරන් අතින් අප මුදන්නට හා බයින් තොරව උන්වහන්සේට මෙහෙ කරන්නට අපට හැකි වන පිණිස ය;</verse>
				<verse number="75">අපේ සියලු දවස්වල ශුද්ධත්වයෙන් හා ධර්මිෂ්ඨත්වයෙන් යුතුව උන්වහන්සේ අබියස එසේ කළ හැකි වන පිණිස ය.</verse>
				<verse number="76">“මා දරුව, නුඹ මහෝත්තමයාණන්ගේ දිවැසිවරයා යයි හඳුන්වනු ලබනු ඇත. මන්ද නුඹ ස්වාමින්වහන්සේගේ මාර්ගය සකස්කරන්නට උන්වහන්සේට පෙරටුව ගමන් ගනු ඇත්තේ,</verse>
				<verse number="77">උන්වහන්සේගේ ජනයාට ඔවුන්ගේ පාපවලට කමාව තුළින් ගැලවීමේ දැනුම ගෙන දීමට ය.</verse>
				<verse number="78">අපගේ දෙවියන්වහන්සේගේ මෘදු වූ දයාව නිසා ය, ඉහළ අහසේ සිට අපට හිරු උදාවන්නේ;</verse>
				<verse number="79">ඒ, අන්ධකාරයේ හිඳ සිටින්නන් හා මරණ සෙවණේ හිඳින්නන් පිට බබළන පිණිසත්, සාමයේ මාර්ගයට අපගේ පා යොමු කරවන පිණිසත් ය.”</verse>
				<verse number="80">දරුවා වැඩී, ආත්මයෙන් බලවත් විය; ඉශ්‍රායෙල් වෙත ප්‍රසිද්ධියේ පෙනී සිටින තෙක්, ඔහු පාළුකරයේ වාසය කළේ ය.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">එසමයේ මුළු ලොව පුරා සංගණනයක් ගැනීමට ඔගස්ටස් සීසර්ගෙන් නියෝගයක් නිකුත් විය.</verse>
				<verse number="2">කුරේනියස්, සිරියාවේ ආණ්ඩුකාරයාව සිටියදී පැවැත්වූ පළමු සංගණනය මෙයයි.</verse>
				<verse number="3">සියල්ලෝ ලියාපදිංචි වන්නට තම ගම් පළාත් බලා ගියහ.</verse>
				<verse number="4">යෝසෙප් ද ඔහු දාවිත්ගේ වංශයට හා පෙළපතට අයත් බැවින්, ගලීලයේ නාසරෙත් නගරයෙන් පිටත්ව, දාවිත් පුරය වූ යුදයේ බෙත්ලෙහෙම් බලා ගියේ,</verse>
				<verse number="5">තමා හා විවාහ ගිවිසි, ගැබ්බරව හුන් මරියා ද සමඟින් ලියාපදිංචි වන්නට ය.</verse>
				<verse number="6">ඔවුන් එහි සිටියදී ඇයට දරු උපතේ කාලය එළැඹිණි.</verse>
				<verse number="7">ඕ තම කුලුඳුලා වූ පුතකු බිහි කර රෙදිවලින් ඔතා, ගව ඔරුවක තැබුවා ය. මන්ද ආගන්තුක නවාතැන් ගෙයි ඔවුන්ට ඉඩ ලැබුණේ නැත.</verse>
				<verse number="8">එපෙදෙසේ එඬේරු රැයේ තම බැටළු රංචු බලා ගනිමින්, අසල එළිමහනේ සිටියහ.</verse>
				<verse number="9">ස්වාමින්වහන්සේගේ දූතයෙක් ඔවුන්ට පෙනෙන්නට ආවේ ය; ස්වාමින්වහන්සේගේ තේජස ඔවුන් හාත්පස බබළන්නට විය; ඔවුහු බියෙන් ඇලළී ගියහ.</verse>
				<verse number="10">දේව දූතයා ඔවුන්ට කතා කොට, “බය නො වන්න; මෙන්න, මුළු මහත් ජනයාට ඉමහත් ප්‍රියජනක සුබ ආරංචියක් මම ඔබට ගෙනෙමි.</verse>
				<verse number="11">මන්ද අද දවසේ දාවිත් පුරයේ ඔබට ගැලවුම්කරුවෙක්, ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ උපන් සේක.</verse>
				<verse number="12">රෙදිවලින් ඔතා, ගව ඔරුවක බාවා සිටින බිළිඳකු ඔබට හමුවනු ඇත; එය ඔබට ලකුණකි” යි පැවසී ය.</verse>
				<verse number="13">ඒ ඇසිල්ලේම ඒ දේව දූතයා හා එක් වූ අති මහත් ස්වර්ගීය සේනාවක් දෙවියන්වහන්සේ පසසමින් මෙසේ ගැයූහ.</verse>
				<verse number="14">“උසස් තැන්හි දෙවියන්වහන්සේට වේවා මහිමය, උන්වහන්සේගේ ප්‍රසාදය ලද පොළොවේ ජනයාට වේවා සාමය.”</verse>
				<verse number="15">දේව දූතයින් ඔවුන්ගෙන් වෙන්ව, ස්වර්ගයට ගිය පසු, ඔවුනොවුන් ඇමතූ එඬේරු, “යමු; බෙත්ලෙහෙමට ගොස්, ස්වාමින්වහන්සේ අපට දැනගන්නට සැලසූ, සිදු වී ඇති ඒ අසිරිය බලමු” යි කියා,</verse>
				<verse number="16">යුහුව ගොස්, මරියා හා යෝසෙප් ද ගව ඔරුවේ හුන් බිළිඳා ද දුටුවෝ ය.</verse>
				<verse number="17">ළදරුවා දුටු කල ඔවුහු දරුවා ගැන තමනට දන්වන ලද දෑ පතළ කළහ.</verse>
				<verse number="18">ඒ ඇසූ සියල්ලෝ එඬේරුන් කී දෑ පිළිබඳ මවිත වූහ.</verse>
				<verse number="19">එහෙත් මරියා ඒ සියලු කියමන් තම සිත්හි රඳවා, ඒවා මෙනෙහි කළා ය.</verse>
				<verse number="20">එඬේරුන් ආපසු ගියේ, තමන්ට දන්වන ලද ලෙස තමන් ඇසූ දුටු හැම දේ ගැන දෙවියන්වහන්සේට මහිමය දෙමින් හා ප්‍රශංසා කරමිනි.</verse>
				<verse number="21">උන්වහන්සේගේ චර්ම-ඡේදනය සඳහා අට දවස පිරුණු කල, එතුමාණන් පිළිසිඳ ගැන්මට පෙර, දේව දූතයා විසින් දෙන ලද නාමය වන යේසුස් යන නම එතුමාණන්ට තබන ලදී.</verse>
				<verse number="22">මෝස‍ෙස්ගේ දහම් නීතියට අනුව, ඔවුන්ගේ පවිත්‍ර වීමේ පිළිවෙත් සඳහා කාලය සම්පූර්ණ වූ කල, දරුවා ස්වාමින්වහන්සේට පිළිගැන්වීමට යෝසෙප් හා මරියා ඔහු යෙරුසලමට ගෙන ආවේ,</verse>
				<verse number="23">“හැම කුලුඳුල් පිරිමි දරුවකු ම ස්වාමින්වහන්සේට ශුද්ධ ය කියා හැඳින්විය යුතු යැ ” යි ලියවුණු ස්වාමින්වහන්සේගේ නීතිය පරිදි හා</verse>
				<verse number="24">ස්වාමින්වහන්සේගේ නීතියේ සඳහන් ලෙස, “කොබෙයි ජෝඩුවක් හෝ පරෙවි පැටවුන් දෙදෙනකු” යාග කර පූජා කිරීමට ය.</verse>
				<verse number="25">ඉශ්‍රායෙල්හි සැනසීම අපේක්ෂාවෙන් සිටි සිමියොන් නම් වූ ධර්මිෂ්ඨ, භක්තිවන්ත මනුෂ්‍යයෙක් යෙරුසලමේ සිටියේ ය. ශුද්ධාත්මයාණන්වහන්සේ ඔහු පිට වැඩසිටි සේක.</verse>
				<verse number="26">ස්වාමින්වහන්සේගේ මෙසියස්වහන්සේ දකින තුරු ඔහු මරණය දකින්නේ නැති වග, ආත්මයාණන්වහන්සේ ඔහුට හෙළිකර තිබිණි.</verse>
				<verse number="27">ශුද්ධාත්මයාණන්ගේ මඟපෙන්වීමෙන්, ඔහු දේව මාලිගයට ආවේ ය. දහම් නීති චාරිත්‍රානුකූල වතාවත් සඳහා, මව්පියන් යේසුස් දරුවා ගෙන ආ කල,</verse>
				<verse number="28">එතුමාණන් තම දෝතින් වඩාගත් සිමියොන් මෙසේ කියමින්, දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන්නට වන්නේ ය:</verse>
				<verse number="29">“ස්වාමින්වහන්ස, ඔබගේ වචනය ලෙස, ඔබගේ දාසයාට සාමයෙන් යන්නට දැන් ඔබ ඉඩ දෙන සේක;</verse>
				<verse number="30">මන්ද මගේ දෑස, ඔබගේ ගැලවීම දැකගත්තේ ය.</verse>
				<verse number="31">සියලු ජනයා ඉදිරියේ, ඔබ පිළියෙල කළ මෙතුමෝ,</verse>
				<verse number="32">අන් ජාතීන්ට එළිදරවු වීමට එළියකි; ඔබගේ ඉශ්‍රායෙල් ජනයාට තේජසකි.”</verse>
				<verse number="33">දරුවා ගැන කී දෑ ඇසූ එතුමාණන්ගේ පියා ද මව ද විස්මිත වූහ.</verse>
				<verse number="34">ඉන්පසු ඔවුනට ආශිර්වාද කර, ඔහුගේ මව වූ මරියා ඇමතූ සිමියොන්, “මේ දරුවා ඉශ්‍රායෙල්හි බොහෝ දෙනකුගේ වැටීම හා නැගිටීම පිණිසත්, එරෙහිව කතා කරනු ලැබීමේ ලකුණක් පිණිසත් නියමව සිටින්නේ,</verse>
				<verse number="35">බොහෝ දෙනකුගේ යටි සිතිවිලි හෙළිදරවු වන පිණිස ය. තවද ඔබේ හදවත අසිපතකින් සිදුරු වනු ඇතැ” යි පැවසී ය.</verse>
				<verse number="36">තවද අෂේර් පෙළපතට අයත් පානුවෙල්ගේ දුවක වන ආනා නම් දිවැසිවරියක් වූවා ය. ඈ සිටියේ ඉතා වියපත්ව ය, විවාහ වී හත් වසරක් තම ස්වාමි පුරුෂයා හා විසූ ඕ,</verse>
				<verse number="37">ඉන්පසු අසූහතර වසරක්ම වැන්දඹුවක ලෙස සිටියා ය. ඕ දේව මාලිගයෙන් බැහැරව නො ගොස්, දිවා රෑ දෙක්හි නිරාහාරයෙන් ද යාච්ඤාවෙන් ද නමස්කාර කළා ය.</verse>
				<verse number="38">ඈ ද ඒ පැයේදීම එහි අවුත්, දෙවියන්වහන්සේට ස්තුති කරන්නටත්, යෙරුසලමේ ගැලවීම අපේක්ෂිත සියල්ලනට දරුවා ගැන පවසන්නටත් වූවා ය.</verse>
				<verse number="39">ස්වාමින්වහන්සේගේ නීතියට අදාළ වත් පිළිවෙත් පැවැත්වූ ඔවුහු තමන්ගේ ගම වන ගලීලයේ නාසරෙත් වෙත ආපසු ගියහ.</verse>
				<verse number="40">දරුවා වැඩී, ශක්තිමත්ව, ප්‍රඥාවෙන් පූර්ණ වූයේ ය; දෙවියන්වහන්සේගේ ප්‍රසාදය ද ඔහු පිට විය.</verse>
				<verse number="41">එතුමාණන්ගේ මව්පියෝ වසරක් පාසා පාස්කු මංගල්‍යයට යෙරුසලමට ගියහ.</verse>
				<verse number="42">එතුමාණන් දොළොස් හැවිරිදි වූ කල, ඔවුහු සිරිත් පරිදි මංගල්‍යයට ගියහ.</verse>
				<verse number="43">උත්සව දවස් ගෙවුණු පසු, ඔවුහු ආපසු ඒමට පිටත් වූයේ වුව ද, ළමා යේසුස්වහන්සේ යෙරුසලමේ රැඳුණු සේක. එහෙත් මාපියන් ඒ වග දැන සිටියේ නැත.</verse>
				<verse number="44">එතුමාණන්, කණ්ඩායම අතරේ වෙතැයි සිතූ ඔවුහු දවසක ගමන්-දුරක් ගියහ. පසුව තම නෑයින් හා හිතවතුන් අතරේ එතුමාණන් සොයා බලන්නට වූ නමුත්,</verse>
				<verse number="45">හමු නො වූ බැවින්, එතුමාණන් සොයන්නට ආපසු යෙරුසලම බලා ගියහ.</verse>
				<verse number="46">තුන් දිනකට පසු, එතුමාණන් ඔවුනට හමු වූයේ, දේව මාලිගය තුළ පඬිවරුන් අතර හිඳ, ඔවුන්ට සවන් දෙමින් හා ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටියදී ය.</verse>
				<verse number="47">එතුමාණන්ගේ අවබෝධය හා පිළිතුරු ඇසූ සියල්ලෝ මවිත වූහ.</verse>
				<verse number="48">එතුමාණන් දුටු කල මව්පියෝ ද විස්මපත් වූහ. මෑණියෝ එතුමාණන් අමතා, “පුත, ඇයි අපට මෙහෙම දෙයක් කළේ? බලන්න, ඔබේ පියාත්, මාත් ඔබ සෙව්වේ මොන තරම් තැවුලකින් දැ?” යි කීවා ය.</verse>
				<verse number="49">උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ මා සෙව්වේ කුමට ද? මාගේ පියාණන්වහන්සේගේ ගෘහයේ මා සිටිය යුතු වග ඔබ දැන සිටියේ නැද්දැ?” යි ඇසූ සේක.</verse>
				<verse number="50">එහෙත් උන්වහන්සේ ඔවුන්ට කතා කරමින් කී දේ ඔවුන්ට වැටහුණේ නැත.</verse>
				<verse number="51">ඉන්පසු ඔවුන් සමඟ නාසරෙත් වෙත ගිය උන්වහන්සේ ඔවුන්ට කීකරුව විසූ සේක. උන්වහන්සේගේ මෑණියෝ මේ සියල්ල තම සිත්හි ධාරණය කර ගත්තා ය.</verse>
				<verse number="52">යේසුස්වහන්සේ ප්‍රඥාවෙන්, උස මහතින් හා දෙවියන්වහන්සේගේ මෙන්ම මිනිසුන්ගේ ප්‍රසාදයෙන් ද වැඩුණු සේක.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">තිබේරියස් සීසර්ගේ පාලනයේ පහළොස් වන වසරේ, පොන්තියුස් පිලාත් යුදයේ ආණ්ඩුකාරයාව, හෙරෝද් ගලීලයේ ප්‍රාන්ත රජුව, ඔහුගේ සහෝදර පිලිප් ඉතුරය හා ත්‍රකෝනිතියේ ප්‍රාන්ත රජුව, ලුසානියස් අබිලේනියේ ප්‍රාන්ත රජුව සිටි සමයේ</verse>
				<verse number="2">අන්නස් හා කායාපස්ගේ උත්තම පූජක නිල කාලයේ, දෙවියන්වහන්සේගේ වචනය පාළුකරයේදී සෙකරියස්ගේ පුත්‍ර යොහන් වෙත පැමිණියේ ය.</verse>
				<verse number="3">ඔහු යොර්දාන් අවට සියලු පෙදෙස්හි සැරි සරමින්, පාප කමාව පිණිස පසුතැවිලිවීමේ බව්තීස්මයක් දේශනා කළේ,</verse>
				<verse number="4">දිවැසිවර යෙසායාගේ වචන සඳහන් පොතේ ලියවී තිබූ පරිදි ය: “කාන්තාරයේ හඬගසන්නකුගේ කටහඬකි; ‘ස්වාමින්වහන්සේගේ මාර්ගය පිළියෙල කරනු. උන්වහන්සේට සෘජු මාවත් සාදනු;</verse>
				<verse number="5">මිටියාවත් හැම පුරවනු ලබනු ඇත, හැම කන්දක් හා හෙලක්ම පහත් කරනු ලැබේ. ඇද වූ මාවත් කෙළින් කරනු ඇත, රළු මාර්ග මෘදු කෙරෙනු ඇත.</verse>
				<verse number="6">දෙවියන්වහන්සේගේ ගැලවීම මුළු මිනිස් සංහතියම දකිනු ඇත.’ ”</verse>
				<verse number="7">බව්තීස්ම ලබන්නට තමන් වෙත ආ සමූහයා ඇමතූ ඔහු, “එම්බා පොළොං පැටවුනි, පැමිණෙන උදහසින් පලා යන්නට නුඹලාට අවවාද කළේ කවුරු ද?</verse>
				<verse number="8">පසුතැවිල්ලට අනුකූල පල උපද්දවනු. ‘අපගේ පියාණන් වශයෙන් අපට ආබ්‍රහම් ඉන්නවා ය’ කියන්නට පටන් ගන්න එපා. මන්ද මේ ගල්වලින් වුවත් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්නට දෙවියන්වහන්සේට පුළුවනි.</verse>
				<verse number="9">පොරොව දැනටමත් ගස්වල මුල්වලට තබා තිබේ. එබැවින් හොඳ පල නො දරන හැම ගසක්ම කපා ගින්නෙහි හෙළනු ලැබේ යැ” යි කීවේ ය.</verse>
				<verse number="10">එවිට සමූහයා, “එසේ නම් කුමක් ද අප කළ යුත්තේ?” යි ඇසූහ.</verse>
				<verse number="11">ඔහු ඔවුන්ට පිළිතුරු දෙමින්, “අඳන දෙකක් ඇති තැනැත්තා, නැති කෙනකු හා බෙදා ගනිත්වා. ආහාර ඇති අය ද එසේම කරත්වා” යි කීවේ ය.</verse>
				<verse number="12">බදු අය කරන්නෝ ද බව්තීස්ම ලබන්නට අවුත්, “ගුරුතුමනි, අප කළ යුත්තේ කුමක් දැ?” යි ඇසූහ.</verse>
				<verse number="13">“අනුමත පමණට වඩා බදු අය නො කරනු” යි ඔවුන්ට ඔහු පිළිතුරු දුන්නේ ය.</verse>
				<verse number="14">සෙබළු ද ප්‍රශ්න කරමින්, “එතකොට අප? කුමක් ද අප කළ යුත්තේ?” යි ඇසූහ. ඔහු ඔවුන්ට පිළිතුරු දෙමින්, “බලෙන් යමක් පැහැර ගන්න එපා, කිසිවකුට බොරු චෝදනා කරන්න එපා, ලැබෙන වැටුපෙන් සෑහී සිටිනු” යි කීවේ ය.</verse>
				<verse number="15">බලාපොරොත්තු සහගතව සිටි ජනයා, මේ මෙසියස්වහන්සේදෝයි යොහන් ගැන තම හදවත්හි විමසන්නට වූ කල,</verse>
				<verse number="16">ඔවුන් සියල්ලන් ඇමතූ යොහන්, “මා, ඔබ බව්තීස්ම කරන්නේ වතුරිනි; එහෙත් මට වඩා බලගතු කෙනෙක් පැමිණෙයි. උන්වහන්සේගේ පාවහන් පටි මුදන්නටවත් මා වටින්නේ නැත. උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් හා ගින්නෙන් ඔබ බව්තීස්ම කරන සේක.</verse>
				<verse number="17">කමත හොඳ හැටි පවිත්‍ර කරන්නටත්, ධාන්‍ය තම අටුවේ රැස් කරන්නටත්, උන්වහන්සේගේ කුල්ල උන්වහන්සේ අතේ ය. එහෙත් උන්වහන්සේ, බොල් නො නිවෙන ගින්නෙහි හෙළන සේකැ” යි කීවේ ය.</verse>
				<verse number="18">මෙසේ තවත් බොහෝ අනුශාසනා පවත්වමින් යොහන් ජනතාවට ශුභාරංචිය දේශනා කළේ ය.</verse>
				<verse number="19">එහෙත්, හෙරෝද් ප්‍රාන්ත රජ, ඔහුගේ සහෝදරයාගේ භාර්යාව වූ හෙරෝදියස් ගැන හා ඔහු කර තිබූ සියලු දුෂ්ටකම් ගැන යොහන් ඔහුට තරවටු කළ නිසා,</verse>
				<verse number="20">ඔහු සිරගත කිරීමෙන්, වඩා දුෂ්ටකමක් එකතු කරගත්තේ ය.</verse>
				<verse number="21">සියල්ලෝ බව්තීස්මය ලබන කල යේසුස්වහන්සේ ද බව්තීස්ම ලැබ, යාච්ඤා කරමින් සිටියදී, ස්වර්ගය විවරව,</verse>
				<verse number="22">ශුද්ධාත්මයාණන්වහන්සේ පරෙවි වෙසින් තමා වෙත බැස ආ සේක. තවද, “මාගේ ප්‍රේමණීය පුත්‍රයා ඔබයි. මාගේ මහත් ප්‍රසාදය ඔබ සමඟ යැ” යි අහසින් කටහඬක් නික්මුණේ ය.</verse>
				<verse number="23">යේසුස්වහන්සේ තම සේවය අරඹන කල, තිස් හැවිරිදි පමණ වූ සේක. මිනිසුන් සිතුවේ උන්වහන්සේ යෝසෙප්ගේ පුත්‍රයා කියා ය. ඔහු හේලීගේ පුත්‍රයා ය,</verse>
				<verse number="24">ඔහු මත්තාත්ගේ පුත්‍රයා ය, ඔහු ලෙවීගේ පුත්‍රයා ය, ඔහු මෙල්කීගේ පුත්‍රයා ය, ඔහු යන්නයිගේ පුත්‍රයා ය, ඔහු යෝසෙප්ගේ පුත්‍රයා ය.</verse>
				<verse number="25">ඔහු මත්තාතියස්ගේ පුත්‍රයා ය, ඔහු ආමොස්ගේ පුත්‍රයා ය, ඔහු නාහුම්ගේ පුත්‍රයා ය, ඔහු එස්ලීගේ පුත්‍රයා ය, ඔහු නග්ගයිගේ පුත්‍රයා ය,</verse>
				<verse number="26">ඔහු මායත්ගේ පුත්‍රයා ය, ඔහු මත්තාතියස්ගේ පුත්‍රයා ය, ඔහු සෙමෙයින්ගේ පුත්‍රයා ය, ඔහු යෝසෙක්ගේ පුත්‍රයා ය, ඔහු යෝදාගේ පුත්‍රයා ය,</verse>
				<verse number="27">ඔහු යොවානන්ගේ පුත්‍රයා ය, ඔහු රෙසාගේ පුත්‍රයා ය, ඔහු සෙරුබ්බාබෙල්ගේ පුත්‍රයා ය, ඔහු ෂෙයල්තියෙල්ගේ පුත්‍රයා ය, ඔහු නේරීගේ පුත්‍රයා ය,</verse>
				<verse number="28">ඔහු මෙල්කීගේ පුත්‍රයා ය, ඔහු අද්දීගේ පුත්‍රයා ය, ඔහු කෝසම්ගේ පුත්‍රයා ය, ඔහු එල්මාදම්ගේ පුත්‍රයා ය, ඔහු ඒර්ගේ පුත්‍රයා ය,</verse>
				<verse number="29">ඔහු යෝෂුවාගේ පුත්‍රයා ය, ඔහු එලියේසර්ගේ පුත්‍රයා ය, ඔහු යෝරීම්ගේ පුත්‍රයා ය, ඔහු මත්තාත්ගේ පුත්‍රයා ය, ඔහු ලෙවීගේ පුත්‍රයා ය,</verse>
				<verse number="30">ඔහු සිමියොන්ගේ පුත්‍රයා ය, ඔහු යූදාගේ පුත්‍රයා ය, ඔහු යෝසෙප්ගේ පුත්‍රයා ය, ඔහු යෝනාම්ගේ පුත්‍රයා ය, ඔහු එලියාකීම්ගේ පුත්‍රයා ය,</verse>
				<verse number="31">ඔහු මෙලෙයාගේ පුත්‍රයා ය, ඔහු මෙන්නාගේ පුත්‍රයා ය, ඔහු මත්තතාගේ පුත්‍රයා ය, ඔහු නාතාන්ගේ පුත්‍රයා ය, ඔහු දාවිත්ගේ පුත්‍රයා ය,</verse>
				<verse number="32">ඔහු යෙස්සේගේ පුත්‍රයා ය, ඔහු ඕබෙද්ගේ පුත්‍රයා ය, ඔහු බෝවස්ගේ පුත්‍රයා ය, ඔහු සල්මොන්ගේ පුත්‍රයා ය, ඔහු නාෂොන්ගේ පුත්‍රයා ය,</verse>
				<verse number="33">ඔහු අම්මිනාදාබ්ගේ පුත්‍රයා ය, ඔහු අද්මින්ගේ පුත්‍රයා ය, ඔහු අර්නීගේ පුත්‍රයා ය, ඔහු හෙස්රොන්ගේ පුත්‍රයා ය, ඔහු පෙරෙශ්ගේ පුත්‍රයා ය, ඔහු යූදාගේ පුත්‍රයා ය,</verse>
				<verse number="34">ඔහු යාකොබ්ගේ පුත්‍රයා ය, ඔහු ඊසාක්ගේ පුත්‍රයා ය, ඔහු ආබ්‍රහම්ගේ පුත්‍රයා ය, ඔහු තේරාගේ පුත්‍රයා ය, ඔහු නාහොර්ගේ පුත්‍රයා ය,</verse>
				<verse number="35">ඔහු සෙරුග්ගේ පුත්‍රයා ය, ඔහු රෙයුගේ පුත්‍රයා ය, ඔහු පෙලෙග්ගේ පුත්‍රයා ය, ඔහු එබෙර්ගේ පුත්‍රයා ය, ඔහු ෂෙලාගේ පුත්‍රයා ය,</verse>
				<verse number="36">ඔහු කායිනන්ගේ පුත්‍රයා ය, ඔහු අර්පක්සද්ගේ පුත්‍රයා ය, ඔහු ෂෙම්ගේ පුත්‍රයා ය, ඔහු නෝවාගේ පුත්‍රයා ය, ඔහු ලාමෙක්ගේ පුත්‍රයා ය,</verse>
				<verse number="37">ඔහු මෙතුසෙලාගේ පුත්‍රයා ය, ඔහු ඒනොක්ගේ පුත්‍රයා ය, ඔහු යාරෙද්ගේ පුත්‍රයා ය, ඔහු මහලලෙල්ගේ පුත්‍රයා ය, ඔහු ‍කේනාන්ගේ පුත්‍රයා ය,</verse>
				<verse number="38">ඔහු ඒනොෂ්ගේ පුත්‍රයා ය, ඔහු සෙත්ගේ පුත්‍රයා ය, ඔහු ආදම්ගේ පුත්‍රයා ය, ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයා ය.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">යේසුස්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව යොර්දාන් වෙතින් ආපසු පැමිණ, ආත්මයාණන්වහන්සේගේ මඟපෙන්වීමෙන් පාළුකරයේ ගෙන යනු ලැබ,</verse>
				<verse number="2">යක්ෂයා විසින් හතළිස් දවසක් පරීක්ෂා කරනු ලැබූ සේක. එදවස් ඇතුළත උන්වහන්සේ කිසි අහරක් ගත්තේ නැත. එදවස් කෙළවරදී උන්වහන්සේට කුසගිනි දැනිණි.</verse>
				<verse number="3">එවිට යක්ෂයා උන්වහන්සේ අමතමින්, “ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම්, මේ ගල රොටි වන්නට අණ කරන්නැ” යි කීවේ ය.</verse>
				<verse number="4">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ ‘රොටිවලින් පමණක් මිනිසා ජීවත් නො වේ’ කියා ලියා ඇතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="5">එවිට යක්ෂයා, උන්වහන්සේ ඉහළට ගෙන ගොස්, ලොව සියලු රාජ්‍යයන් එක් මොහොතකින් පෙන්වා,</verse>
				<verse number="6">“ඔය මුළු ආධිපත්‍යයත්, තේජසත් ඔබට දෙන්නම්; මන්ද ඒවා දී තිබෙන්නේ මට ය; මා කැමති කෙනකුට මම ඒවා දෙන්නෙමි.</verse>
				<verse number="7">එබැවින් ඔබ නමස්කාර කළොත්, මේ සියල්ලම ඔබගේ යැ” යි කීවේ ය.</verse>
				<verse number="8">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ ‘ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට නමස්කාර කරනු; උන්වහන්සේට පමණක් සේවය කරනු’ කියා ලියා ඇතැ” යි කී සේක.</verse>
				<verse number="9">එවිට ඔහු යෙරුසලමට උන්වහන්සේ ගෙන ගොස්, දේව මාලිග මුදුනේ උන්වහන්සේ සිටුවා, “ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් මෙතැනින් බිමට පනින්න;</verse>
				<verse number="10">මන්ද: “ ‘ඔබ ආරක්ෂා කරන්නට උන්වහන්සේ ස්වකීය දූතයිනට ඔබ ගැන අණ කරනු ඇත’ කියා ද,</verse>
				<verse number="11">‘ඔබගේ පාද ගලක නො වදින ලෙසට ඔවුහු තම අත්වලින් ඔබ උසුලා ගනු ඇත’ කියා ද ලියා ඇතැ” යි කීවේ ය.</verse>
				<verse number="12">යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ ‘ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ පරීක්ෂා නො කරනු’ යි කියා ඇතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="13">මෙසේ සෑම පරීක්ෂාවක්ම නිම කළ යක්ෂයා සුදුසු අවස්ථාවක් එන තෙක් උන්වහන්සේ වෙතින් ඉවත්ව ගියේ ය.</verse>
				<verse number="14">ආත්මයාණන්වහන්සේගේ බලයෙන් යුක්තව යේසුස්වහන්සේ ගලීලයට යළි ආ කල, උන්වහන්සේ පිළිබඳ ප්‍රවෘත්තිය අවට පෙදෙස් පුරා පැතිරිණි.</verse>
				<verse number="15">උන්වහන්සේ සියල්ලන්ගෙන් පැසසුම් ලබමින්, ඔවුන්ගේ සිනගෝගවල ඉගැන්වූ සේක.</verse>
				<verse number="16">තමන් හැදී වැඩුණු නාසරෙත් වෙත පැමිණි උන්වහන්සේ සබත් දින සුපුරුදු ලෙස සිනගෝගයට ගිය සේක. කියවීමට උන්වහන්සේ නැගිට සිටගත් කල,</verse>
				<verse number="17">දිවැසිවර යෙසායාගේ ලියවිල්ල උන්වහන්සේ අත තබන ලදී. උන්වහන්සේ එය දිග හැර, මෙසේ සඳහන් තැන සොයා ගත් සේක:</verse>
				<verse number="18">“ස්වාමින්වහන්සේගේ ආත්මයාණන් මා පිට ය. මන්ද දිළිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශ කරන්නට උන්වහන්සේ මා ආලේප කළ සේක. සිරකරුවන්ට නිදහස ප්‍රකාශ කරන්නට ද අන්ධයනට පෙනීම ලැබීමට ද පීඩිතයින්ට නිදහස දීමට ද</verse>
				<verse number="19">ස්වාමින්වහන්සේගේ ප්‍රසාදයේ වසර ප්‍රකාශ කරන්නට ද උන්වහන්සේ මා එවූ සේක.”</verse>
				<verse number="20">ඉන්පසු උන්වහන්සේ ලියවිල්ල අකුළා බාරකරු අතට දී අසුන් ගත් සේක. සිනගෝගයේ සියල්ලන්ගේ ඇස් යොමු වී තිබුණේ උන්වහන්සේ වෙත ය.</verse>
				<verse number="21">උන්වහන්සේ ඔවුන් අමතමින්, “මේ ලියවිල්ල, අද දවසේ ඔබ අසා සිටියදී සම්පූර්ණ වුණා” යි කී සේක.</verse>
				<verse number="22">එවිට සියල්ලෝ උන්වහන්සේගේ ගුණ වනමින්, උන්වහන්සේගේ මුවින් පිට වූ දයාන්විත වචන ගැන විස්මිතව, “මේ යෝසෙප්ගේ පුතා නො වේ දැ?” යි කීහ.</verse>
				<verse number="23">උන්වහන්සේ ඔවුන් අමතමින්, “ ‘වෙදාණනි, තමාම සුව කරගන්න!’ යන ප්‍රස්තාව පිරුළ ගෙන හැර, නිසැකයෙන්ම ඔබ මට කියාවි: ‘අපට අසන්නට ලැබුණු පරිදි, ඔබ කපර්ණවුමේදී කළ දේ මෙහි ඔබ උපන් ගමේදීත් කරන්න’ ” කියා.</verse>
				<verse number="24">“සැබවින් ම මා ඔබට කියන්නේ, ගමේ දිවැසිවරයා ගම පිළිගන්නේ නැත කියායි.</verse>
				<verse number="25">සත්‍යය මෙයයි, එලියාගේ කාලයේ තුන් අවුරුදු හය මසක් අහස වසනු ලැබ දේශය මුළුල්ලේ දැඩි සාගතයක් පැවති කල, ඉශ්‍රායෙලයේ කොතෙකුත් වැන්දඹුවන් සිටියත්,</verse>
				<verse number="26">සීදොන් දේශයේ සරෙප්තාහි වැන්දඹු ස්ත්‍රියක වෙත මිස, ඒ කිසිවකු වෙත එලියා යවනු ලැබුවේ නැත.</verse>
				<verse number="27">දිවැසිවර එලිෂාගේ කාලයේ, ඉශ්‍රායෙලයේ කොතෙකුත් කුෂ්ඨ රෝගීන් සිටියත්, සිරියානු නාමන් මිස, ඒ කිසිවකුත් සුව කරනු ලැබුවේ නැතැ” යි කී සේක.</verse>
				<verse number="28">සිනගෝගයේ වූ සියල්ලෝ ඒ ඇසූ කල ක්‍රෝධයෙන් පිරී,</verse>
				<verse number="29">නැගිට, නගරෙන් පිටතට උන්වහන්සේ පන්නා, ඔවුන්ගේ නගරය ගොඩ නගා තිබූ කන්ද අද්දරට උන්වහන්සේ ගෙන ගියහ. එසේ කළේ, ප්‍රපාතයට උන්වහන්සේ හෙළා දමන පිණිස ය.</verse>
				<verse number="30">එහෙත් උන්වහන්සේ ඔවුන් අතරින්ම ගමන් කොට, බැහැරව ගිය සේක.</verse>
				<verse number="31">ඉන්පසු උන්වහන්සේ ගලීලයේ නගරයක් වන කපර්ණවුම් වෙත ගොස් සබතේදී ඔවුන්ට ඉගැන්වූ සේක.</verse>
				<verse number="32">උන්වහන්සේගේ ඉගැන්වීම ආධිපත්‍යයෙන් යුතු වූයෙන්, ඔවුහු විස්මිත වූහ.</verse>
				<verse number="33">සිනගෝගයේ සිටි අශුද්ධ යක්ෂාත්මයක් ආවේශ වූ මිනිසෙක් ඉතා උස් හඬින් කෑ ගසා,</verse>
				<verse number="34">“හා! අපෙන් ඔබට ඇති කාරිය මොකක් ද නාසරෙත්හි යේසුස්වහන්ස? ඔබ ආවේ අප විනාශ කර දමන්න ද? ඔබ කවුරුදැයි මා දන්නවා; ඔබ දෙවියන්වහන්සේගේ ශුද්ධ තැනැන්වහන්සේ යැ” යි කීවේ ය.</verse>
				<verse number="35">එහෙත් යේසුස්වහන්සේ ඔහුට තරවටු කරමින්. “නිශ්ශබ්ද වනු! මොහුගෙන් පිට වනු!” යි කී සේක. එවිට ඔවුන් මධ්‍යයේ ඔහු බිම හෙළූ යක්ෂාත්මය, ඔහුට හානියක් නො කර, ඔහුගෙන් පිටතට ආවේ ය.</verse>
				<verse number="36">ඉන් විස්මිත වූ ජනයා ඔවුනොවුන් අතර අදහස් දක්වමින්, “මේ කෙබඳු වචනයක් ද? මෙතුමා ආධිපත්‍යයයෙන් හා බලයෙන් යුතුව යක්ෂාත්මයන්ට අණ දෙනවා; එවිට උන් පිට වී යනවා!” යි කීහ.</verse>
				<verse number="37">උන්වහන්සේ පිළිබඳ වාර්තා අවට පෙදෙස් පුරා පැතිර ගියේ ය.</verse>
				<verse number="38">උන්වහන්සේ නැගිට, සිනගෝගයෙන් පිටත්ව, සීමොන්ගේ නිවසට ගිය සේක. සීමොන්ගේ නැන්දණිය තදබල උණෙන් පෙළෙමින් සිටියෙන්, ඇයට පිහිට වන ලෙස ඔවුහු උන්වහන්සේගෙන් ඉල්ලූහ.</verse>
				<verse number="39">එවිට උන්වහන්සේ ඇය වෙත නැඹුරුව, උණ රෝගයට තරවටු කළ සේක; උණ ඇගෙන් බැස ගියේ ය. එකෙණෙහිම නැගිට්ට ඕ, ඔවුනට සත්කාර කරන්නට වූවා ය.</verse>
				<verse number="40">හිරු අවරට යත්ම, ඔවුහු අනේකාකාර රෝගවලින් පෙළෙන්නවුන් උන්වහන්සේ වෙත ගෙන ආහ. ඒ හැම කෙනකු පිට අත් තැබූ උන්වහන්සේ ඔවුන් සුව කළ සේක.</verse>
				<verse number="41">යක්ෂාත්මයෝ ද “ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ යැ” යි කෑ ගසමින් බොහෝ දෙනකුගෙන් දුරුව ගියහ. එහෙත් උන්වහන්සේ උන්ට තරවටු කරමින්, කතා කරන්නට ඉඩ නො දුන් සේක. මන්ද උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ වග උන් දැන සිටි නිසා ය.</verse>
				<verse number="42">පසු දින පහන් වූ කල උන්වහන්සේ පිටත්ව, හුදෙකලා තැනකට ගිය සේක. ජනයා උන්වහන්සේ සොයමින්, උන්වහන්සේ වෙත අවුත්, ඔවුන් වෙතින් ඉවත්ව යා නො දී නවතා ගන්නට තැත් දැරූහ.</verse>
				<verse number="43">එහෙත් උන්වහන්සේ ඔවුන් අමතමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය මා අනෙක් නගරවලත් දේශනා කළ යුතුයි. මන්ද මා එවනු ලැබ ඇත්තේ ඒ සඳහා යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="44">උන්වහන්සේ යුදයේ සිනගෝගවල දේශනා කිරීමෙහි නියැළුණු සේක.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">වරක් යේසුස්වහන්සේ ගෙන්නසරෙත් විල් තෙර සිටගෙන සිටියදී, ජනයා දෙවියන්වහන්සේගේ වචනය අසන්නට උන්වහන්සේට තෙරපෙන්නට වූහ.</verse>
				<verse number="2">විල අයිනේ ඔරු දෙකක් තිබෙනු උන්වහන්සේ දුටු සේක. මන්ද ධීවරයෝ ඔරුවලින් බැස, තම දැල් සෝදමින් සිටියහ.</verse>
				<verse number="3">උන්වහන්සේ ඉන් එකකට, සීමොන්ගේ ඔරුවට ගොඩ නැගී, වෙරළින් එය මඳක් එහාට කරන්නැයි ඔහුට පවසා, ඔරුවේ හිඳ ජනයාට උගන්වන්නට වන් සේක.</verse>
				<verse number="4">කතා කර නිම වූ පසු උන්වහන්සේ සීමොන් අමතා, “මාළු මඩියක් අල්ලා ගන්නට දියඹේ ගැඹුරට ගොස්, දැල් දමන්නැ” යි කී සේක.</verse>
				<verse number="5">සීමොන් පිළිතුරු දෙමින්, “ගුරුතුමනි, රෑ මුළුල්ලේම වෙහෙස දරලත් අපට ලැබුණු දෙයක් නැහැ. එනමුත් ඔබතුමාගේ වචනය නිසා මම දැල් හෙළන්නෙමි” යි කීවේ ය.</verse>
				<verse number="6">එහෙත් ඔවුන් එසේ කළ විට, මසුන් මහත් රාශියක් හසුවූයෙන්, ඔවුන්ගේ දැල් ඉරෙන්නට වන්නේ ය.</verse>
				<verse number="7">එබැවින් ඔවුහු, උදව්වට එන ලෙස, අනෙක් ඔරුවේ තම හවුල්කරුවනට සංඥා කළහ. ඔවුන් ද අවුත්, මසුන් කොතෙක් පටවා ගත්තේ ද යත්, ඔරු දෙකම පිරී, ගිලෙන්නට වන්නේ ය.</verse>
				<verse number="8">සීමොන් පේතෘස් ඒ දැක, යේසුස්වහන්සේගේ දෙදණ අබියස වැටී, “අහෝ ස්වාමිනි, මා වෙතින් ඉවත්ව ගිය මැනව; මා පව්කාර මිනිහෙකි” යි කීවේ ය.</verse>
				<verse number="9">මන්ද හසු වූ මසුන් තොගය නිසා, ඔහු ද ඔහු සමඟ සිටියවුන් ද අන්ද මන්ද වූ බැවිනි.</verse>
				<verse number="10">සීමොන්ගේ හවුල්කරුවන් වූ යාකොබ් හා යොහන් යන සෙබදීගේ පුත්‍රයෝ ද විස්මපත් වූහ. එවිට සීමොන් ඇමතූ යේසුස්වහන්සේ, “බය වන්න එපා; මෙතැන් පටන් ඔබ මිනිසුන් අල්ලනු ඇතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="11">තමන්ගේ ඔරු ගොඩට ඇද දැමූ ඔවුහු, සියල්ල අත්හැර උන්වහන්සේ අනුව ගියහ.</verse>
				<verse number="12">උන්වහන්සේ එක් නගරයක සිටියදී ගත පුරා කුෂ්ඨ රෝගියෙක් අවුත්, යේසුස්වහන්සේ දැක, වැටී මුහුණ බිම ඔබා, උන්වහන්සේට කන්නලව් කරමින්, “ස්වාමිනි, ඔබ කැමති නම් මා පවිත්‍ර කරන්නට ඔබට පුළුවනැ” යි කීවේ ය.</verse>
				<verse number="13">යේසුස්වහන්සේ අත දිගු කොට, ඔහු ස්පර්ශ කර, “මා කැමතියි; පවිත්‍ර වන්නැ!” යි කී සේක. කුෂ්ඨය විගස ඔහුගෙන් පහව ගියේ ය.</verse>
				<verse number="14">කිසිවකුට මේ ගැන නො කියන ලෙස ඔහුට අණ කළ යේසුස්වහන්සේ, “එනමුත් පූජකවරයා ඉදිරියේ පෙනී සිට ඔවුන්ට සාක්ෂියක් වශයෙන් ඔබගේ පවිත්‍ර වීම ගැන මෝසෙස් නියම කළ පඬුරු ඔප්පු කරන්නැ” යි පැවසූ සේක.</verse>
				<verse number="15">එහෙත් උන්වහන්සේ පිළිබඳ පුවත වඩ වඩා පතළ වූයෙන්, උන්වහන්සේගෙන් අසන්නට හා තම රෝග සුව කර ගැනීමට අති මහත් පිරිස් රොක් වූහ.</verse>
				<verse number="16">එහෙත් උන්වහන්සේ හුදෙකලා තැන්වලට ගොස්, යාච්ඤා කළ සේක.</verse>
				<verse number="17">දිනක් යේසුස්වහන්සේ උගන්වමින් සිටියදී, ගලීලයේ හා යුදයේ හැම ගමකින් ද යෙරුසලමෙන් ද පැමිණි පරිසිවරු හා දහම් පඬිවරු එහි අසුන් ගෙන වුන්හ. සුව කිරීමට ස්වාමින්වහන්සේගේ බලය උන්වහන්සේ වෙත විය.</verse>
				<verse number="18">එවිට මෙන්න, සයනයක හොවා අංසබාග රෝගියකු ගෙනා කිහිප දෙනෙක්, උන්වහන්සේ ඉදිරියේ ඔහු තබනු පිණිස ගෙතුළට යෑමට උත්සාහ කළහ.</verse>
				<verse number="19">එහෙත් ජනකාය නිසා ඇතුළට යෑමේ මගක් නො වූයෙන්, ඔවුහු වහලට නැගී, සෙවිලි තුළින් පිරිස මැද යේසුස්වහන්සේ ඉදිරියට සයනයත් සමඟින් ඔහු බැස්සූහ.</verse>
				<verse number="20">එවිට ඔවුන්ගේ ඇදහිල්ල දුටු යේසුස්වහන්සේ, “මිත්‍රය, ඔබේ පාප කමා කරන ලදැ” යි පැවසූ සේක.</verse>
				<verse number="21">එවිට දහම් පඬිවරු හා පරිසිවරු, “දේවාපහාස පවසන මොහු කවුරු ද? දෙවියන්වහන්සේට මිස, පාප කමා කරන්නට පුළුවන් කවරකුට දැ?” යි ප්‍රශ්න කරන්නට වන්හ.</verse>
				<verse number="22">යේසුස්වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන, “ඔබේ හදවත් තුළ ප්‍රශ්න කරන්නේ කිම ද?</verse>
				<verse number="23">කීමට වඩා පහසු කුමක් ද? ‘ඔබේ පාප කමා කරන ලදැ’ යි කීම ද, ‘නැගිට ඇවිදින්නැ’ යි කීම ද?</verse>
				<verse number="24">එනමුත් පොළොවේදී පාප කමා කිරීමට මනුෂ්‍ය-පුත්‍රයාට බලය ඇති බව ඔබ දැනගන්නා පිණිස යැ” යි පවසා, අංසබාග රෝගියා අමතා, “මා ඔබට කියන්නේ, නැගිට ඔබේ යහන රැගෙන, ගෙදර යන්න, කියා යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="25">ඔවුන් ඉදිරිපිට එකෙණෙහිම නැගී සිටි ඔහු, තමන් වැතිර සිටි යහන ද රැගෙන, නිවෙස බලා ගියේ, දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමිනි.</verse>
				<verse number="26">සියල්ලෝ විස්මයෙන් ඇලළී, දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන්නට වී දේව භයින් ද වෙළී, “අද අප පුදුමාකාර දේ දැක්කා” යි කීහ.</verse>
				<verse number="27">ඉන්පසු යේසුස්වහන්සේ පිටතට යන කල, ලෙවී නම් වූ බදු අය කරන්නෙක් අයබදු කාර්යාලයේ හිඳ සිටිනු දැක, “මා අනුව එන්නැ” යි කී සේක.</verse>
				<verse number="28">ඔහු සියල්ල අත්හැර, නැගිට, උන්වහන්සේ අනුව ගියේ ය.</verse>
				<verse number="29">පසුව, ලෙවී තම නිවසේ උන්වහන්සේට මහත් භෝජන සංග්‍රහයක් පිළියෙල කළේ ය; බදු අය කරන්නන් ගණනාවක් හා වෙනත් අය කෑමට හිඳ සිටියහ.</verse>
				<verse number="30">එවිට පරිසිවරු හා ඔවුන්ගේ දහම් පඬිවරු උන්වහන්සේගේ ගෝලයිනට අවලාද නගමින්, “බදු අය කරන්නන් හා පව්කරුවන් සමඟ නුඹලා කන්නේ, බොන්නේ මන්දැ?” යි ඇසූහ.</verse>
				<verse number="31">යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “වෙදකු ඕනෑ කරන්නේ නිරෝගීනට නො ව රෝගීන්ටයි.</verse>
				<verse number="32">මා ආවේ, පව්කරුවන් පසුතැවිල්ලට කැඳවීමට මිස, ධර්මිෂ්ඨයින් කැඳවීමට නො වේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="33">ඔවුහු උන්වහන්සේ අමතමින්, “යොහන්ගේ ගෝලයින් නිතර උපවාසයෙන් යාච්ඤා කරනවා, පරිසිවරුන්ගේ ගෝලයින් ද එහෙම කරනවා. එහෙත් ඔබේ ගෝලයින් කනවා, බොනවා” යි කීහ.</verse>
				<verse number="34">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මනාලයා මංගල පිරිස සමඟ සිටියදී, ඔවුන්ට නිරාහාරව සිටිය හැකි ද?</verse>
				<verse number="35">මනාලයා ඔවුන් වෙතින් ඉවතට ගන්නා දවස් පැමිණෙයි; ඒ දවස්හිදී ඔවුන් නිරාහාරව සිටිනු ඇතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="36">උන්වහන්සේ ඔවුන්ට උපමා කතාවක් කියමින්, “කිසිවකු අලුත් ඇඳුමකින් රෙදි කඩක් ඉරා, පරණ ඇඳුමකට අණ්ඩ දමන්නේ නැත. එසේ කළොත්, අලුත් ඇඳුම ඉරා දැමෙනවාත් හැර, අලුත් කැබැල්ල පරණ එකට ගැලපෙන්නේ ද නැත.</verse>
				<verse number="37">කිසිවකු අලුත් මිදි යුෂ පැරණි සම් මලුවල දමන්නේ නැත. එසේ දැමුවහොත් අලුත් මිදි යුෂ සැරට සම් මලු පැළී, මිදි යුෂ හැලී, සම් මලු ද විනාශ වෙයි.</verse>
				<verse number="38">අලුත් මිදි යුෂ අලුත් සම් මලුවල දැමිය යුතු වෙයි.</verse>
				<verse number="39">පැරණි මිදි යුෂ පානය කළ කිසිවකු අලුත් ඒවාට රුචි නො වේ. ‘පැරණි ඒවා හොඳා යැ’ යි ඔහු කියතැ” යි පැවසූ සේක.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">එක් සබත් දිනෙක උන්වහන්සේ කුඹුරු යායක් මැදින් ගමන් ගනිද්දී, උන්වහන්සේගේ ගෝලයෝ ධාන්‍ය කරල් කඩා, අතේ පොඩිකර කෑවෝ ය.</verse>
				<verse number="2">එවිට පරිසිවරු ඇතමෙක් ප්‍රශ්න කරමින්, “මොකද ඔබ සබතේදී නීති විරෝධී දෙයක් කරන්නේ?” යි ඇසූහ.</verse>
				<verse number="3">යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “වරක් තමාටත්, තම සගයින්ටත් කුසගිනි වූ විට දාවිත් කළ දේ ඔබ කියවා නැද්ද?</verse>
				<verse number="4">ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල්ව පූජකයනට විනා, අන් කිසිවකු කෑමට අකැප පිදුම් රොටි ගෙන කා, තම සගයින්ටත් දුන් අයුරු?” යි පැවසූ සේක.</verse>
				<verse number="5">තවද උන්වහන්සේ, “මනුෂ්‍ය පුත්‍රයාණෝ සබතේ ද ස්වාමියාණෝ යැ” යි ඔවුන්ට පැවසූ සේක.</verse>
				<verse number="6">තවත් සබත් දිනෙක උන්වහන්සේ සිනගෝගයට ඇතුල්ව, උගන්වමින් සිටියදී, දකුණු අත අප්‍රාණික වූ මිනිසෙක් ද එහි විය.</verse>
				<verse number="7">උන්වහන්සේට එරෙහිව චෝදනා කරන පිණිස, උන්වහන්සේ සබතේදී සුව කරන්නේදැයි දහම් පඬිවරු හා පරිසිවරු විමසිල්ලෙන් බලාවුන්හ.</verse>
				<verse number="8">එහෙත් උන්වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන, අත අප්‍රාණික මිනිසාට, “නැගිට ඇවිත් මෙතැන සිටගන්නැ” යි කී සේක. ඔහු නැගිට එතැන සිට ගත්තේ ය.</verse>
				<verse number="9">එවිට යේසුස්වහන්සේ, “මා ඔබෙන් අහන්නේ, සබතේදී නිත්‍යානුකූල වන්නේ යහපත කිරීම ද? නපුර කිරීම ද? ජීවිතයක් ගැලවීම ද? වැනසීම දැ?” යි ඔවුන්ගෙන් ඇසූ සේක.</verse>
				<verse number="10">ඉන්පසු ඔවුන් හැම සිසාරා බැලූ උන්වහන්සේ, ඒ මිනිසා අමතා, “ඔබේ අත දිගු කරන්නැ” යි කී සේක. ඔහු එසේ කළේ ය; එවිට, ඔහුගේ අත මුළුමනින් ප්‍රකෘතිමත් විය.</verse>
				<verse number="11">එවිට කෝපයෙන් පිරුණු ඔවුහු, යේසුස්වහන්සේට කුමක් කරන්නේදැයි තමන් අතර සාකච්ඡා කළහ.</verse>
				<verse number="12">එදවස්හි යාච්ඤා කරන්නට කන්දට නැගුණු යේසුස්වහන්සේ, රැයක් මුළුල්ලේ දිගටම දෙවියන්වහන්සේට යාච්ඤා කළ සේක.</verse>
				<verse number="13">පහන් වූ කල, තම ගෝලයින් තමන් වෙත කැඳවූ උන්වහන්සේ ඔවුන් අතරින් දොළොස් දෙනකු තෝරා, අපෝස්තුලුවරුන් යයි ඔවුන් හැඳින් වූ සේක.</verse>
				<verse number="14">ඔවුහු නම්: උන්වහන්සේ පේතෘස් යන නම් තැබූ සීමොන්, ඔහුගේ සහෝදර අන්දෘ, යාකොබ්, යොහන්, පිලිප්, බර්තොලමෙව්,</verse>
				<verse number="15">මතෙව්, තෝමස්, අල්පෙවුස්ගේ පුත්‍ර යාකොබ්, ජ්වලිතයා යයි නම් ලත් සීමොන්,</verse>
				<verse number="16">යාකොබ්ගේ පුත්‍ර යූදස් හා ද්‍රෝහියකු වූ යූදස් ඉස්කාරියොත් ය.</verse>
				<verse number="17">උන්වහන්සේ ඔවුන් සමඟ පහළට බැස, තැනිතලා බිමකට ආ සේක. උන්වහන්සේගේ අනුගාමිකයින් විශාල සංඛ්‍යාවක් හා මුළු යුදයෙන් ද යෙරුසලමෙන් ද මුහුදුකරයේ තීර් හා සීදොන් පළාත්වලින් ද ආ අති මහත් ජනකායක් එහි වූහ.</verse>
				<verse number="18">ඔවුන් පැමිණ සිටියේ උන්වහන්සේට සවන් දීමට හා තම රෝග සුව කර ගැනීමට ය. අපවිත්‍ර ආත්මවලින් පීඩා විඳි අය ද සුව කරනු ලැබූහ.</verse>
				<verse number="19">උන්වහන්සේගෙන් බලය නික්ම, ඔවුන් හැම සුව කළ බැවින් මුළු ජනකායම උන්වහන්සේට අත ගසන්නට සෙවූහ.</verse>
				<verse number="20">එකල උන්වහන්සේ තම ගෝලයින් දෙස නෙත් හෙළා මෙසේ පැවසූ සේක: “දිළිඳු වූ ඔබ භාග්‍යවන්ත ය, මන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබගේ ය.</verse>
				<verse number="21">දැන් සාගිනි ඇති ඔබ භාග්‍යවන්ත ය, මන්ද ඔබ තෘප්තියට පත් කරනු ලබනු ඇත. දැන් හඬා වැටෙන ඔබ භාග්‍යවත් ය, මන්ද ඔබ සිනාසෙනු ඇත.</verse>
				<verse number="22">මනුෂ්‍ය පුත්‍රයා නිසා මිනිසුන් ඔබට වෛර කරන කල, ඔවුන් ඔබ බැහැර කරමින්, ඔබට අවමන් කරමින්, ඔබේ නාමය නපුරකැයි හෙළා දකින කල ඔබ භාග්‍යවත් ය.</verse>
				<verse number="23">“ඒ දවසේදී ප්‍රමෝද වන්න, ප්‍රීතියෙන් උඩ පනින්න; මන්ද, මෙන්න! ස්වර්ගයේදී ඔබගේ ත්‍යාගය ඉමහත් ය. මන්ද ඔවුන්ගේ පියවරුන් දිවැසිවරුනට සැලකුවේ ද එලෙසම ය.</verse>
				<verse number="24">“එනමුත්, ධනවත් ඔබට දුක් වේ; මන්ද ඔබේ සැනසිල්ල ඔබ ලබා ඇත.</verse>
				<verse number="25">දැන් සෑහී සිටින ඔබට දුක් වේ: මන්ද ඔබට සාගිනි වනු ඇත. දැන් සිනාසෙන ඔබට දුක් වේ; මන්ද ඔබ හඬනු ඇත; වැලපෙනු ඇත.</verse>
				<verse number="26">සියලු දෙනා ඔබගේ ගුණ වණනා කල ඔබට දුක් වේ; මන්ද ඔවුන්ගේ පියවරුන් බොරු දිවැසිවරුන්ට කළේ ද එයම ය.</verse>
				<verse number="27">“මට සවන් දෙන ඔබට මා කියන්නේ, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න.</verse>
				<verse number="28">ඔබට ශාප කරන්නන්ට සෙත් පතන්න. ඔබට ගැරහුම් කරන්නන් උදෙසා යාච්ඤා කරන්න.</verse>
				<verse number="29">යමෙක් ඔබේ එක් කම්මුලකට ගැහුවොත්, අනෙකත් හරවන්න. යමෙක් ඔබේ උඩු කබාය ගතහොත්, ඔබේ යටි කබායත් ගන්නට දෙන්න.</verse>
				<verse number="30">ඔබෙන් ඉල්ලන හැම කෙනකුට දෙන්න. යමෙක් ඔබ සතු දේ පැහැර ගතහොත් ඒවා ආපසු නො ඉල්ලන්න.</verse>
				<verse number="31">අන්‍යයන් ඔබට කෙලෙස සලකනවාට ඔබ කැමති ද ඔබත් ඔවුනට එලෙසම කරන්න.</verse>
				<verse number="32">“ඔබ ප්‍රේම කරන්නේ ඔබට ප්‍රේම කරන අයට පමණක් නම්, ඔබට මොන විපාකයක් ද? මන්ද පව්කරුවෝ පවා තමන්ට ප්‍රේම කරන්නන්ට ප්‍රේම කරති.</verse>
				<verse number="33">ඔබ යහපත කරන්නේ ඔබට යහපත කරන අයටම නම්, එහි ඇති පලේ කුමක් ද? මන්ද පව්කරුවෝ පවා එයම කරති.</verse>
				<verse number="34">ඔබ ණයට දෙන්නේ ආපසු ගැනීමේ අදහසින් නම් එහි ඇති පලේ කුමක් ද? පව්කරුවෝ පවා සියල්ල ආපසු ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පව්කරුවන්ට ණයට දෙති.</verse>
				<verse number="35">එනමුත් ඔබේ සතුරනට ප්‍රේම කරන්න; යහපතම කරන්න. කිසිවක් ආපසු ගන්නා අදහසක් නැතිව ණයට දෙන්න. එවිට ඔබේ ඉෂ්ට විපාකය අනර්ඝ වනු ඇත. ඔබ මහෝත්තමයාණන්ගේ පුත්‍රයින් වනු ඇත. මන්ද කළගුණ දන්නේ නැතිවුන්ට හා දුෂ්ටයින්ට උන්වහන්සේ කාරුණික ය.</verse>
				<verse number="36">ඔබේ පියාණන්වහන්සේ දයාවන්තව සිටින්නා සේ ඔබත් දයාවන්ත වන්න.</verse>
				<verse number="37">“විනිශ්චය නො කරන්න; එවිට ඔබත් විනිශ්චය කරනු නො ලැබේ. වරදට පත් නො කරන්න; එවිට ඔබත් වරදට පත් කරනු නො ලැබේ. කමාව දෙන්න; එවිට ඔබටත් කමා කරනු ලැබේ.</verse>
				<verse number="38">දෙන්න; එවිට ඔබටත් දෙනු ලැබේ. තද කර ඔබා, සොලව සොලවා, පිරී ඉතිරී යන්නට ඔබේ ඔඩොක්කුවට මැන දෙනු ඇත. මන්ද ඔබ මනින මිම්මෙන්ම ඔබට ද මැන දෙනු ලැබේ.”</verse>
				<verse number="39">උන්වහන්සේ මෙම උපමාව ද ඔවුන්ට පැවසූ සේක: “අන්ධයකුට මගපෙන්නට අන්ධයකුට පුළුවන් ද? ඔවුන් දෙදෙනාම වළක වැටෙනවා නො වේ ද?</verse>
				<verse number="40">ගෝලයකු තම ගුරුවරයාට වඩා උසස් නැත. එහෙත් සම්පූර්ණ පුහුණුව ලද හැම කෙනෙක්ම තම ගුරුවරයා හා සම තත්වයට එති.</verse>
				<verse number="41">“ඔබේ ඇසේ ඇති ලී පතුර දෙස නො බලා, ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති ලී කුඩ්ඩ දෙස බලන්නේ ඇයි?</verse>
				<verse number="42">ඔබේම ඇසේ ඇති ලී පතුර නො දැක ඔබේ සහෝදරයාට කතා කොට, ‘සොයුර, ඔබේ ඇසේ ඇති ලී කුඩ්ඩ ඉවත් කරන්න ඉඩ දෙන්නැ’ යි කියන්නේ කෙසේ ද? වංචාකාරය, පළමුව, ඔබේ ඇසේ ඇති ලී පතුර ඉවත් කරගන්න; එවිට ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති ලී කුඩ්ඩ ඉවත් කිරීමට පැහැදිලිවම ඔබට පෙනෙනු ඇත.</verse>
				<verse number="43">“හොඳ ගසක නරක පල හට ගන්නේ නැතිවා සේ, නරක ගසක හොඳ පල හට ගන්නේ නැත.</verse>
				<verse number="44">එක එක ගස හැඳින ගන්නේ එහි පලවලිනි. කටුගස්වලින් අත්තික්කාවත්, ගොකටු පඳුරකින් මිදි පලවත් නෙළා ගන්නට බැරි ය.</verse>
				<verse number="45">හොඳ මනුෂ්‍යයා, තම හදෙහි නිදන්ගත හොඳ දැයින්, හොඳ දෑ උපද්දයි; නපුරු මිනිසා තම හදෙහි නිදන්ගත නපුරෙන්, නපුර උපද්දයි. මන්ද ඔහුගේ කටින් පිට වන්නේ, ඔහුගේ හදවතින් පිටාර ගලන දෙයිනි.</verse>
				<verse number="46">“මා කියන දේ නො කර, ‘ස්වාමිනි, ස්වාමිනි’ යි මා අමතන්නේ මන්ද?</verse>
				<verse number="47">මා වෙත පැමිණ, මාගේ වචන අසා, ඒවා පිළිපදින්නා, කවරකුට සමානදැයි මම ඔබට පෙන්වා දෙන්නම්.</verse>
				<verse number="48">ඔහු ගැඹුරට හාරා, පර්වතය පිට අත්තිවාරම දමා, ගෙයක් තනන මිනිසකුට සමාන ය. ගං වතුර ගැලූ කල, සැඩ පහර ඒ ගෙට ගැසූ නමුත් එය සෙලවිය නො හැකි විය. මන්ද එය නිසි ලෙස ගොඩ නගා තිබූ බැවිනි.</verse>
				<verse number="49">එහෙත් අසන නමුදු ඒවා නො පිළිපදින්නා, අත්තිවාරම් නො දමා බිමෙහි ගෙයක් තැනූ මිනිසකුට සමාන ය. සැඩ පහර ගැසූ කෙණෙහිම ඒ ගෙය කඩා වැටුණි. එහි විනාශය ද බරපතළ ය.”</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">ජනයා අසා සිටියදී ඒ සියලු කියුම් කියා නිම වූ පසු, උන්වහන්සේ කපර්ණවුමට ඇතුළු වූ සේක.</verse>
				<verse number="2">සියයේ සේනාංකයක් භාර සෙන්පතියකුට තමා ප්‍රිය වූ දාසයෙක් රෝගීව, මරණාසන්නව සිටියේ ය.</verse>
				<verse number="3">යේසුස්වහන්සේ ගැන ඇසූ එම සියයේ සෙන්පතියා, පැමිණ තම දාසයා සුව කර දෙන්නැයි ඉල්ලන්නට යුදෙව් වැඩිහිටියන් කීප දෙනකු උන්වහන්සේ වෙත යැවී ය.</verse>
				<verse number="4">යේසුස්වහන්සේ වෙත පැමිණි ඔවුහු උදක්ම අයදිමින්, “ඔබෙන් උදවු ලබන්නට ඔහු සුදුසුයි.</verse>
				<verse number="5">ඔහු අපේ ජාතියට ප්‍රේමකරන්නෙක්. අපේ සිනගෝගය අපට තනා දුන්නේ ද ඔහුයි” කීහ.</verse>
				<verse number="6">එවිට යේසුස්වහන්සේ ඔවුන් සමඟ ගිය සේක. උන්වහන්සේ ඔහුගේ නිවසට ළඟා වෙත්ම, උන්වහන්සේ වෙතට පෙර මඟට තම මිතුරන් පිටත් කළ සෙන්පතියා, “ස්වාමිනි, වෙහෙස නො වුව මැනවි, ඔබතුමා මගේ වහල යටට පැමිණීමට තරම් මා සුදුස්සෙක් නො වේ;</verse>
				<verse number="7">ඔබ හමුවට ඒමට තරම් වත් මා වටින්නෙකැයි නො සිතුවේ එනිසයි; නමුත් වචනයක් පැවසුව මැනවි. එවිට මාගේ මෙහෙකරුවා සුව වන්නේ ය.</verse>
				<verse number="8">මන්ද මමත් ආධිපත්‍යයට යටත් මනුෂ්‍යයෙක්මි; මා යටතේ ද හේවායෝ සිටිති. මා මොහුට ‘යනු’ යි කී කල ඔහු යයි; වෙනෙකකුට ‘එනු’ යි මා කී කල ඔහු එයි. ‘මෙය කරනු’ යි මගේ මෙහෙකරුට කී කල, ඔහු එය කරතැ” යි පැවසී ය.</verse>
				<verse number="9">ඒ ඇසූ කල, ඔහු ගැන විස්මපත් වූ යේසුස්වහන්සේ, තමන් පිරිවරා ආ පිරිස දෙස හැරී, “මේ තරම් මහත් ඇදහිල්ලක් ඉශ්‍රායෙල්හිවත් මා දැක්කේ නැති වග මා ඔබට කියනවා” යි පැවසූ සේක.</verse>
				<verse number="10">යවනු ලැබූ අය නිවසට ආපසු පැමිණි කල, ඒ දාසයා හොඳ සුවයෙන් සිටිනු දුටුවහ.</verse>
				<verse number="11">ඉන් අනතුරුව උන්වහන්සේ නායින් නම් වූ නගරයට ගිය සේක. උන්වහන්සේගේ ගෝලයෝ ද මහා ජන සමූහයක් ද උන්වහන්සේ සමඟ ගියහ.</verse>
				<verse number="12">උන්වහන්සේ නගර දොරටුවට ළඟා වෙත්ම; මෙන්න! මළ මිනියක් පිටතට ගෙන එමින් තිබිණි. ඒ, වැන්දඹු මවකට සිටි එකම පුත්‍රයා වූ කෙනකුගේ ය. සෑහෙන පිරිසක් නගරයේ සිට ඇය සමඟ ගමන් කළහ.</verse>
				<verse number="13">ස්වාමින්වහන්සේ ඇය දුටු කල, ඇයට අනුකම්පා කර, “හඬන්න එපා” යි පැවසූ සේක.</verse>
				<verse number="14">උන්වහන්සේ දෙණ වෙත ගොස්, ඊට අත තැබූ කල, දෙණ උසුලන්නෝ නැවතුණහ. එවිට උන්වහන්සේ, “තරුණ ය, නැගිටින්නැයි මම ඔබට කියමි!” යි කී සේක.</verse>
				<verse number="15">මළ මිනිසා කෙළින් වී හිඳ, කතා කරන්නට වන්නේ ය. යේසුස්වහන්සේ ඔහුගේ මවට ඔහු භාර දුන් සේක.</verse>
				<verse number="16">එවිට සියල්ලෝ භයින් වෙළී, “ශ්‍රේෂ්ඨ දිවැසිවරයෙක් අප අතර නැගිටලා! දෙවියන්වහන්සේ තම ජනයාට පිහිට වන්නට ඇවිල්ලා!” යි කියමින් දෙවියන්වහන්සේට ප්‍රශංසා කළෝ ය.</verse>
				<verse number="17">උන්වහන්සේ පිළිබඳ පුවත මුළු යුදය පුරාත්, ඒ අවට පෙදෙස්හිත් පතළ විය.</verse>
				<verse number="18">යොහන්ගේ ගෝලයෝ මේ සියලු විස්තර යොහන්ට දැන්වූහ. එකල තම ගෝලයින් දෙදෙනකු තමා වෙත කැඳවූ ඔහු,</verse>
				<verse number="19">ස්වාමින්වහන්සේ වෙත ඔවුන් යවමින්, “එන්නට සිටි තැනැත්තාණන් ඔබ ද? නැතහොත් වෙනත් කෙනකු ගැන අප බලා සිටිය යුතු දැ?” යි අසා යැවී ය.</verse>
				<verse number="20">ඒ මිනිස්සු උන්වහන්සේ වෙත අවුත්, “ ‘එන්නට සිටි තැනැත්තාණන් ඔබ ද? නැතහොත් වෙනත් කෙනකු ගැන අප බලා සිටිය යුතු දැ?’ යි ඔබගෙන් අසන්නට යොහන් බව්තීස්ත අප එවී යැ” යි කීහ.</verse>
				<verse number="21">ඒ පැයේදීම උන්වහන්සේ රෝග හා ව්‍යාධි තිබූ බොහෝ දෙනකු ද දුෂ්ටාත්ම ද සුව කර, අන්ධව සිටි බොහෝ දෙනකුට පෙනීම දුන් සේක.</verse>
				<verse number="22">ඉන්පසු ඔවුන් ඇමතූ උන්වහන්සේ, “දැන් ආපසු ගොස්, ඔබ අසන, දකින දෑ යොහන්ට ගොසින් කියන්න. අන්ධයෝ පෙනීම ලබති; කොරු ඇවිදිති; කුෂ්ඨ රෝගීහු පවිත්‍ර කෙරෙති; බිහිරි අය ඇසීම ලබති. මළාහු නැගිටුවනු ලබති. දිළිඳුනට ශුභාරංචිය ප්‍රකාශ කරනු ලැබේ.</verse>
				<verse number="23">මා ගැන නො පැකිළෙන තැනැත්තා භාග්‍යවතෙකැ” යි පැවසූ සේක.</verse>
				<verse number="24">යොහන්ගේ පණිවුඩකරුවන් නික්ම ගිය පසු, රැස්ව සිටි ජන සමූහයාට යොහන් ගැන කතාව පටන් ගත් යේසුස්වහන්සේ, “ඔබ පාළුකරයට ගියේ කුමක් බලන්න ද? සුළඟින් සැලෙන බට ගසක් බලන්න ද?</verse>
				<verse number="25">එසේ නම්, ඔබ ගියේ කුමක් බලන්න ද? සිනිඳු සේල සළු පිළි හැඳි මිනිසකු ද? බලන්න, අගනා සළු පිළි හැඳ, සුඛ විහරණයෙන් දිවි ගෙවන අය සිටින්නේ රජ මාලිගාවලයි.</verse>
				<verse number="26">එසේ නම් ඔබ ගියේ කුමක් බලන්න ද? දිවැසිවරයකු ද? ඔව්, මා ඔබට කියන්නේ, දිවැසිවරයකුටත් වඩා උතුම් කෙනකු ය කියායි.</verse>
				<verse number="27">මෙසේ ලියා තියෙන්නේ ඔහු ගැනයි: “ ‘මෙන්න මම මාගේ දූතයා ඔබට පෙරටුව යවමි. ඔබ ඉදිරියේ ඔහු ඔබේ පෙරමඟ සකසනු ඇත.’</verse>
				<verse number="28">මා ඔබට කියන්නේ, ස්ත්‍රීන්ගෙන් උපන් කිසිවකු යොහන්ට වඩා උතුම් නො වන බවයි; එහෙත් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ඉතාම සුළු තැනැත්තා පවා ඔහුට වඩා උතුම් ය.”</verse>
				<verse number="29">(යොහන්ගේ බව්තීස්ම ලබා සිටි, බදු අය කරන්නන් ඇතුළුව මුළු ජනයා ඒ ඇසූ කල, දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨ වග ප්‍රකාශ කළහ.</verse>
				<verse number="30">එහෙත් පරිසිවරු හා නීති විශාරදයෝ ඔහුගෙන් බව්තීස්ම නො ලැබ, තමන් සඳහා වූ දෙවියන්වහන්සේගේ සැලැස්ම ප්‍රතික්ෂේප කළහ.)</verse>
				<verse number="31">“එසේ නම් මම මේ පරම්පරාවේ ජනයා කුමකට සමාන කරම් ද? ඔවුන් කවුරුන්ට සමාන ද?</verse>
				<verse number="32">කඩ-මණ්ඩියේ හිඳ තම සගයනට මෙසේ හඬ ගසන දරුවනටයි: “ ‘අප ඔබට නළා පිම්බා, කෝ! ඔබ නැටුවේ නෑ; අප විලාප ගී ගැයුවා; ඔබ හැඬුවේ නෑ.’</verse>
				<verse number="33">මන්ද යොහන් බව්තීස්ත පැමිණියේ රොටි කන්නේවත්, මිදි යුෂ බොන්නේවත් නැතිවයි. ඊට ඔබ කියන්නේ, ‘ඔහුට යක්ෂාත්මයක් වැහිලා ඇත’ කියායි.</verse>
				<verse number="34">මනුෂ්‍ය පුත්‍රයා ආවේ කමින්, බොමින්; එවිට ඔබ කියන්නේ, ‘මෙන්න බලන්න! කෑදරයෙක්, බේබද්දෙක්; බදු අයකරන්නන්ගේ හා පව්කරුවන්ගේ මිතුරෙක්!’ කියායි.</verse>
				<verse number="35">එහෙත් ප්‍රඥාව නිවැරදි බව එහි දරුවන්ගෙන් ඔප්පු වී ඇතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="36">එක් පරිසියෙක් තමන් හා අහර ගැනීමට යේසුස්වහන්සේට ඇරියුම් කළේ ය. උන්වහන්සේ පරිසියාගේ ගෙට ඇතුල්ව, මේසයට හිඳගත් සේක.</verse>
				<verse number="37">එවිට මෙන්න! පව්කාරියක වූ එපුර අඟනක්, උන්වහන්සේ පරිසියාගේ ගෙදර කෑමට වාඩි වූ වග දැන, සුවඳ විලවුන් පිරුණු කිරිගරුඬ බඳුනක් ගෙන එහි අවුත්,</verse>
				<verse number="38">උන්වහන්සේගේ පාමුල, උන්වහන්සේ පිටුපසින් සිට හඬමින්, තම කඳුළින් උන්වහන්සේගේ පා තෙමන්නට වූවා ය. ඉන්පසු තම කෙස් වැටියෙන් ඒවා පිසදැමූ ඕ, උන්වහන්සේගේ පා සිඹ සිඹ සුවඳ දියර ගැල්වූවා ය.</verse>
				<verse number="39">යේසුස්වහන්සේට ඇරියුම් කළ පරිසියා ඒ දැක, “මුන්නැහේ දිවැසිවරයෙක් නම්, තමන්ට මෙලෙස අත ගසන්නේ කවරෙක් ද, කෙබඳු කෙනෙක්දැයි දැනගත යුතුයි; මැය පව්කාරියකැ” යි තමාටම කියා ගත්තේ ය.</verse>
				<verse number="40">එවිට යේසුස්වහන්සේ ඔහු අමතා, “සීමොන්, ඔබට කියන්නට යමක් මට තිබේ යැ” යි කී සේක. “කියන්න ගුරුතුමනි” යි ඔහු පැවසී ය.</verse>
				<verse number="41">“මුදල් ණයට දෙන කෙනකුට ණයකරුවන් දෙදෙනෙක් සිටියා. කෙනෙක් ඩිනාරි පන්සියයක් ද අනෙකා පනහක් ද ණයව සිටියා.</verse>
				<verse number="42">ණය ගෙවන්නට ඔවුන්ට නො හැකි වූ නිසා දෙදෙනාගේම ණය ඔහු කපා හැරියා. මේ දෙන්නාගෙන් ඔහුට වඩා ප්‍රේම කරන්නේ කවුරු දැ?” යි ඇසූ සේක.</verse>
				<verse number="43">සීමොන් පිළිතුරු දෙමින්, “මා හිතන්නේ වැඩියෙන් ණය බරින් නිදහස් වූ තැනැත්තා කියා යැ” යි පැවසී ය. “ඔබේ නිගමනය නිවැරදියි” කී උන්වහන්සේ,</verse>
				<verse number="44">ස්ත්‍රිය දෙසට හැරී, සීමොන් අමතමින්, “මැය ඔබට පෙනෙනවා නො වේ ද? මා ඔබේම ගෙදරට ආ නමුත්, මගේ පා සෝදන්නට ඔබ වතුර දුන්නේ නෑ. එනමුත් මෑ, ඇගේ කඳුළින් මගේ පා තෙමා, ඇගේම හිසකෙසින් ඒවා පිස දැමුවා.</verse>
				<verse number="45">ඔබ, මා සිප ගත්තේ නෑ. එනමුත් මෑ, මෙහි ආ වේලේ පටන් නො නැවතීම මගේ පා සිප ගත්තා.</verse>
				<verse number="46">ඔබ, මගේ හිසේ තෙල් ගැල්වූයේ නෑ. එනමුත් මෑ, සුවඳ පැනින් මාගේ පා ආලේප කළා.</verse>
				<verse number="47">එනිසා මා ඔබට කියන්නේ බොහෝ වූ ඇගේ පාප කමා කරන ලද වගයි; මන්ද ඈ බොහෝ සේ ප්‍රේම කළා; එසේ වුවත් ස්වල්ප වශයෙන් කමාව ලැබූ තැනැත්තා ප්‍රේම කරන්නේත් ස්වල්ප වශයෙනැ” යි පැවසූ සේක.</verse>
				<verse number="48">ඉන්පසු උන්වහන්සේ ඒ ස්ත්‍රිය අමතමින්, “ඔබේ පාප කමා කරනු ලැබී යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="49">එවිට කෑමට හිඳ සිටි අය ඔවුනොවුන් අතරේ කතා කරමින්, “පාප කමාව පවා දෙන මොහු කවරෙක් දැ?” යි පවසන්නට වන්හ.</verse>
				<verse number="50">එහෙත් යේසුස්වහන්සේ ස්ත්‍රිය අමතා, “ඔබේ ඇදහිල්ල ඔබ ගැලවී ය; සාමයෙන් යන්නැ!” යි පැවසූ සේක.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">මෙයින් පසු උන්වහන්සේ නගරයෙන් නගරය, ගමින් ගම දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ සුබ ආරංචිය දේශනා කරමින්, සැරි සැරූ සේක. දොළොස් දෙනා ද</verse>
				<verse number="2">යක්ෂාත්ම හා රෝගවලින් සුවය ලද ස්ත්‍රීන් ඇතැම් දෙනෙක් ද උන්වහන්සේ සමඟ වූහ. තමන් කෙරෙන් යකුන් හත්දෙනකු දුරු කරන ලද මග්දලේනා නම් වූ මරියා ද</verse>
				<verse number="3">හෙරෝද්ගේ ගබඩා භාරකරු වූ කුසාගේ භාර්යාව වූ යොවන්නා ද සුසන්නා ද තමන්ට ඇති දෙයින් ඔවුන්ට උපස්ථාන කළ තව බොහෝ දෙනෙක් ද ඒ අතර වූහ.</verse>
				<verse number="4">මහත් ජන සමූහයක් එක්රැස් වෙද්දී, නගරයක් නගරයක් වෙතින් ජනයා උන්වහන්සේ වෙත ඇදී ආ කල, උන්වහන්සේ උපමා කතාවක් පවසමින්,</verse>
				<verse number="5">“වපුරන්නෙක් තම බීජ වපුරන්නට ගියේ ය. ඔහු බීජ ඉසිද්දී, ඉන් සමහරක් මඟ දිගේ වැටී, පයට පෑගී ගියේ ය. කුරුල්ලෝ ඒවා කා දැමූහ.</verse>
				<verse number="6">සමහරක් පර්වතය පිට වැටී, පැළවූ නමුදු, තෙතමනය නැති බැවින් වියළී ගියේ ය.</verse>
				<verse number="7">සමහරක් බීජ කටු පඳුරු අතරේ වැටී පැළ විය. කටු පැළ ද ඒ සමඟ වැවී, ඒවා යට කර දැමී ය.</verse>
				<verse number="8">සෙසු බීජ සරු බිමෙහි වැටී, පැළවී, එකට සියය බැගින් අස්වනු ඉපද වීය.” එසේ කියමින් උන්වහන්සේ, “කන් ඇත්තා අසත්වා!” යි උස් හඬින් පැවසූ සේක.</verse>
				<verse number="9">ඒ උපමාවේ අරුත කුමක්දැයි ගෝලයෝ උන්වහන්සේගෙන් විමසූහ.</verse>
				<verse number="10">එවිට උන්වහන්සේ, “දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රහස් දැනගැනීමට ඔබට වර දී තිබේ. එහෙත් සෙසු අයට මා කතා කරන්නේ උපමා මඟිනි. ඒ, “ ‘පෙනි-පෙනීත් ඔවුන් නො දකින පිණිසත්, ඇසි-ඇසීත් ඔවුන්ට නො වැටහෙන පිණිසත්’ ය.</verse>
				<verse number="11">“උපමාවේ අරුත මෙයයි: බීජ, දෙවියන්වහන්සේගේ වචනයයි.</verse>
				<verse number="12">මඟ දිගේ වපුළ වූ ඒවා වන්නේ, වචනය ඇසූ අයයි. එහෙත් ඔවුන් විශ්වාස කර, ගැලවීම නො ලබන පිණිස යක්ෂයා ඇවිත් ඔවුන්ගේ හදවත්වලින් ඒ වචනය උදුරා ගනියි.</verse>
				<verse number="13">ගල්බිම පිට වූ ඒවා වන්නේ, වචනය ඇසූ කල ප්‍රීතියෙන් එය පිළිගන්නා නමුත් මුල් නැති බැවින්, මද කලකට පමණක් විශ්වාස කර, පරීක්ෂා පැමිණි කල වැටී යන අයයි.</verse>
				<verse number="14">කටු අතරේ වැටුණු බීජ, අසන නමුත්, ඔවුන් තම ජීවිත ගමනේදී ජීවිතයේ කරදර, සම්පත් හා සැප සෙල්ලම්වලින් හිරවී සිටින අයයි. ඔවුන්ගේ පල මෝරන්නේ නැත.</verse>
				<verse number="15">සරු බිමෙහි වූවෝ, යහපත් හදින් වචනය අසා, තදින් එය අල්ලාගෙන, නො පසුබට වීර්යයෙන් පල දරන අයයි.</verse>
				<verse number="16">“කිසිවකු පහනක් දල්වා බඳුනකින් වසන්නේවත්, ඇඳක් යට තබන්නේවත් නැත. කරන්නේ, ඇතුල් වන අයට එළිය පෙනෙන පිණිස, එය පහන් රුකක් මත තැබීම ය.</verse>
				<verse number="17">මන්ද එළිදරවු නො වන සේ සඟවන ලද කිසිවක් නැත. දැනගනු නො ලබන සේ වසන් කරන ලද කිසි රහසක්වත් නැත.</verse>
				<verse number="18">එබැවින් ඔබ අසන හැටි ගැන පරෙස්සම් වන්න. මන්ද ඇති තැනැත්තාට වඩ වඩා දෙනු ලැබේ. නැති තැනැත්තාගෙන් ඔහු, තමාට ඇතැයි ඔහු සිතන දේ පවා ගනු ලැබේ” යි කී සේක.</verse>
				<verse number="19">උන්වහන්සේගේ මෑණියන් හා සහෝදරයින් උන්වහන්සේ වෙත ආ නමුදු සමූහයා නිසා උන්වහන්සේට ළං වීමට ඔවුන්ට හැකි වූයේ නැත.</verse>
				<verse number="20">එවිට, “අන්න ඔබේ මෑණියන් හා ඔබේ සහෝදරයින් ඔබ දකින්නට ඇවිත් පිටත ඉන්නවා” යි උන්වහන්සේට දන්වන ලදී.</verse>
				<verse number="21">උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මාගේ මෑණියන් හා මාගේ සහෝදරයින් වන්නේ දෙවියන්වහන්සේගේ වචනය අසා, ඒවා පිළිපදින අය යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="22">දිනක් තම ගෝලයින් සමඟ ඔරුවකට නැගුණු යේසුස්වහන්සේ, “අපි විලෙන් එගොඩට යමු” යි කී සේක. එවිට ඔවුහු ඔරුව දියත් කළහ.</verse>
				<verse number="23">ඔවුන් යාත්‍රා කරද්දී උන්වහන්සේ නිදන්නට වන් සේක. විල හරහා සැඩ කුණාටුවක් හැමූයෙන්, ඔරුව තුළට දිය පිරී එය ගිලෙන තරමට රැළි නැංගේ ය. තත්වය අනතුරුදායක විය.</verse>
				<verse number="24">එවිට ඔවුහු උන්වහන්සේ ළඟට ඇවිත්, උන්වහන්සේ අවදි කරවමින්, “ස්වාමිනි, ස්වාමිනි, අප විනාශ වෙන්නටයි යන්නේ!” යි කෑ ගැසූහ. උන්වහන්සේ නැගිට, සුළඟටත්, රුදු රළ රැළිවලටත් තරවටු කළ සේක. එවිට ඒවා නැවතිණ; සියල්ල නිසල විය.</verse>
				<verse number="25">“කෝ! ඔබේ ඇදහිල්ල?” යි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. බයින් ද විස්මයෙන් ද වෙළී ගිය ඔවුහු, “මොහු කවරෙක් ද? සුළඟට හා ජලයට පවා මොහු අණ දෙන කල ඒවා ද කීකරු වෙතැ” යි එකිනෙකාට පැවසූහ.</verse>
				<verse number="26">ඔවුහු ගලීලය ඉදිරිපිට පිහිටි ගෙරසේනයන්ගේ දේශයට ගොඩ බටහ.</verse>
				<verse number="27">යේසුස්වහන්සේ වෙරළට පිය නගත්ම, නගරයේ සිට ආ යක්ෂාත්මාවේශ වූ මිනිහෙක් උන්වහන්සේට මුණ ගැසිණි. දිගු කලෙක පටන් ඇඳුමක් නො හැඳි ඔහු ගෙදරක නො වැස, සොහොන් ගෙවලම ලැග සිටියේ ය.</verse>
				<verse number="28">යේසුස්වහන්සේ දුටු කල මොර ගසා, උන්වහන්සේ ඉදිරියේ වැටුණු ඔහු, “මහෝත්තම දෙවියන්වහන්සේගේ පුත්‍ර යේසුස්වහන්ස, ඔබට මගෙන් ඇති කාරිය කිම ද? අනේ මට වධ නුදුන මැනව” යි මහ හඬ නැඟුවේ ය.</verse>
				<verse number="29">මන්ද ඒ මිනිසාගෙන් පිට වී යන ලෙස ඒ අපවිත්‍ර ආත්මයට උන්වහන්සේ අණ කළ බැවිනි. මන්ද ඌ නොයෙක් වර ඔහුට ආවේශ වූ බැවින්, ඔහුගේ දෑත දෙපය යදමින් බැඳ, මුර කරන ලදී. එහෙත් ඔහු ඒ බැමි බිඳ, යක්ෂාත්මය විසින් පාළු තැන් කරා පන්නනු ලැබ තිබිණ.</verse>
				<verse number="30">“තමාගේ නම කුමක් දැ?” යි යේසුස්වහන්සේ ඔහුගෙන් ඇසූ සේක. යක්ෂාත්ම සමූහයක්ම ඔහුට ආවේශ ව සිටි බැවින්, “සේනාව ” යයි ඔහු පිළිතුරු දුන්නේ ය.</verse>
				<verse number="31">ඔවුහු උන්වහන්සේට කන්නලව් කරමින්, පාතාලයට යෑමට තමනට නියෝග නො කරන්නැයි ඉල්ලූහ.</verse>
				<verse number="32">මහ ඌරු රැළක් අසල කන්දේ අහර කමින් වුන්හ. ඌරු රැළට වැහෙන්නට ඔවුහු අවසර ඉල්ලූහ. උන්වහන්සේ අවසර දුන් කල,</verse>
				<verse number="33">මිනිසා වෙතින් දුරුව ආ යක්ෂාත්මයෝ ඌරු රැළට වැහුණහ. එවිට බෑවුම පහළට වේගයෙන් දුව ගිය ඌරු රැළ විලේ ගිලී මළෝ ය.</verse>
				<verse number="34">සිදු වූ දේ දුටු ඌරු පල්ලෝ දුව ගොස්, නගරයේත්, ගමේත් ඒ වග පතළ කළහ;</verse>
				<verse number="35">කුමක් සිදු වීදැයි බලන්නට ඇදී ආ ජනයා, යේසුස්වහන්සේ වෙත ආ කල, යක්ෂාත්ම වැහී සිටි මිනිහා ඇඳුම් ඇඳ, හොඳ සිහියෙන් යුතුව, යේසුස්වහන්සේ පාමුල හිඳ සිටිනු දැක බය වූහ.</verse>
				<verse number="36">යක්ෂාත්මාවේශව සිටි මිනිහා සුව කරනු ලැබූ අයුරු සිද්ධිය ඇසින් දුටු අය ඔවුන්ට විස්තර කළහ.</verse>
				<verse number="37">ගෙරසේන අවට පෙදෙසේ මුළු ජනයා තමන් වෙතින් ඉවත්ව යන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලූහ. මන්ද ඔවුන් සිටියේ මහත් භීතියෙනි. එබැවින් උන්වහන්සේ ඔරුවේ නැගී ආපසු ගිය සේක.</verse>
				<verse number="38">යක්ෂාත්මයන්ගෙන් මිදුණු මිනිසා කන්නලව් කරමින් උන්වහන්සේ සමඟ යෑමට අයැදී ය. එහෙත් යේසුස්වහන්සේ ඔහු පිටත් කරමින්,</verse>
				<verse number="39">“ආපහු ඔබේ ගෙදර ගොස්, දෙවියන්වහන්සේ ඔබට මොන තරම් දෙයක් කළ සේක් ද කියා ප්‍රකාශ කරන්නැ” යි පැවසූ සේක. ඔහු පිටත්ව ගොස්, යේසුස්වහන්සේ කොතරම් දෑ තමාට කළා ද කියා නගරය පුරා පතළ කළේ ය.</verse>
				<verse number="40">යේසුස්වහන්සේ ආපසු ආ කල, ජනයා සාදරයෙන් උන්වහන්සේ පිළිගත්හ. මන්ද උන්වහන්සේ එන තෙක් ඔවුන් මඟ බලා සිටි බැවිනි.</verse>
				<verse number="41">සිනගෝග පාලකයකු වූ යායිරස් නැමැත්තෙක් පැමිණ, යේසුස්වහන්සේගේ පාමුල වැටී, තම නිවසට එන ලෙස ආයාචනා කළේ ය.</verse>
				<verse number="42">මන්ද දොළොස් හැවිරිදි පමණ වූ ඔහුගේ එකම දියණිය මරණාසන්නව සිටියා ය. උන්වහන්සේ එහි යන අතර ජන සමූහයා උන්වහන්සේ වටා තෙරපුණහ.</verse>
				<verse number="43">දොළොස් වසරක් කිලිමාලයෙන් පෙළුණු ස්ත්‍රියක් ද එහි වූවා ය. තමන් සතු සියල්ල වෙදුන්ට වියදම් කළා වුව ද, කිසිවකුටත් ඇය සුව කළ නො හැකි විය.</verse>
				<verse number="44">යේසුස්වහන්සේ පසුපසින් පැමිණි ඕ, උන්වහන්සේගේ සළුවේ වාටියට අත ගැසුවා ය; එකෙණෙහිම ඇගේ ලේ ගැලීම නැවතිණි.</verse>
				<verse number="45">“මට අත ගැසුවේ කවුරු දැ?” යි යේසුස්වහන්සේ ඇසූ කළ, සියල්ලෝම, තමන් එසේ නො කළ බව කීවෝ ය. එවිට පේතෘස්, “ස්වාමිනි, මහජනයා ඔබට තෙරපෙමින් තද වෙති” යි කීවේ ය.</verse>
				<verse number="46">එහෙත් යේසුස්වහන්සේ, “කවුරු නමුත් මට අත ගැසුවා; ආනුභාවය මගෙන් නික්මෙනු මට දැනුණා” යි පැවසූ සේක.</verse>
				<verse number="47">එවිට, තමාට වසං විය නො හැකි වග දුටු ස්ත්‍රිය ගැහි-ගැහී අවුත්, උන්වහන්සේ පාමුල වැටී, තමා උන්වහන්සේට අත ගැසූ හේතුවත්, වහා සුවය ලද අයුරුත් සියල්ලන් ඉදිරියේ විස්තර කළා ය.</verse>
				<verse number="48">එවිට ඇය ඇමතූ උන්වහන්සේ, “දියණිය, ඔබේ ඇදහිල්ල ඔබ සුව කර ඇත; සාමයෙන් යන්නැ” යි කී සේක.</verse>
				<verse number="49">උන්වහන්සේ එසේ කියද්දීම, සිනගෝග පාලක යායිරස්ගේ නිවසින් ආ කෙනෙක්, “ඔබේ දියණිය මිය ගියා. තවදුරටත් ගුරු හිමියන් වෙහෙසන්න එපා” යි දැන්වී ය.</verse>
				<verse number="50">ඒ ඇසූ යේසුස්වහන්සේ ඔහු අමතා, “බය නො වන්න; විශ්වාසයෙන්ම සිටින්න; ඇය සනීප වනු ඇතැ” යි කී සේක.</verse>
				<verse number="51">උන්වහන්සේ යායිරස්ගේ නිවසට පැමිණි පසු පේතෘස්, යොහන් හා යාකොබ් ද දැරියගේ මවු පිය දෙපල ද හැර, අන් කිසිවකුට තමන් සමඟ ඇතුළු වීමට ඉඩ නුදුන් සේක.</verse>
				<verse number="52">සියල්ලන්ම සිටියේ ඈ ගැන හඬමිනි; වැලපෙමිනි. “ඔය හැඬීම නවත්වන්න. ඈ නිදනවා විනා මැරී නැතැ” යි යේසුස්වහන්සේ පැවසූ සේක.</verse>
				<verse number="53">ඈ මැරී සිටි වග දත් ඔවුහු උන්වහන්සේට සිනාසුණහ.</verse>
				<verse number="54">එහෙත් උන්වහන්සේ ඇගේ අත අල්ලා, “දියණිය නැගිටින්නැ!” යි පැවසූ සේක.</verse>
				<verse number="55">ඇගේ ප්‍රාණය ආපසු හැරී ආයෙන්, ඕ එක්වනම නැගී සිටියා ය. ඇයට කෑමට යමක් දෙන්නැයි උන්වහන්සේ කී සේක.</verse>
				<verse number="56">ඇගේ මව්පියෝ විස්මිත වූහ. එහෙත් සිදු වූ දෑ කිසිවකුටත් නො පවසන ලෙස උන්වහන්සේ ඔවුන්ට අණ කළ සේක.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">උන්වහන්සේ දොළොස් දෙනා එකට කැඳවා, සියලු යක්ෂාත්ම දුරු කිරීමටත් රෝග සුව කිරීමටත් බලය හා වරය දී,</verse>
				<verse number="2">දෙවියන්වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශ කිරීමටත්, රෝගීන් සුව කිරීමටත් ඔවුන් පිටත් කර යැවූ සේක.</verse>
				<verse number="3">උන්වහන්සේ ඔවුන් අමතමින්, “ගමනට කිසිවක් ගෙන යන්න එපා; සැරයටියක්, ගමන් මල්ලක්, හෝ රොටීවත්, මුදල් හෝ අමතර ඇඳුමක්වත් ගෙන යන්න එපා.</verse>
				<verse number="4">ඔබ ඇතුළු වන්නේ කවර නිවසකට ද, එපෙදෙසින් නික්ම යන තෙක් එහිම නවාතැන් ගන්න.</verse>
				<verse number="5">යම් තැනකදී ඔබ නො පිළිගැනේ නම්, ඒ නුවරින් පිටත්ව යන කල, ඔවුන්ට විරුද්ධව සාක්ෂියක් වශයෙන් ඔබේ පා දූලි ගසා දමන්නැ” යි පැවසූ සේක.</verse>
				<verse number="6">මෙසේ ඔවුහු පිටත්ව ගොස්, සැම තැන්හි ශුභාරංචිය දේශනා කරමින් හා සුව කරමින්, ගමින් ගම සැරි සැරූහ.</verse>
				<verse number="7">මේ අතර, සිදුවන සියල්ල ගැන ඇසූ හෙරෝද් ප්‍රාන්ත රජ, වියවුල් විය. මන්ද යොහන් මරණින් නැගිට ඇතැයි ඇතමකු ද</verse>
				<verse number="8">දිවැසිවර එලියා පැමිණ ඇතැයි ද අන් සමහරු, පෙර විසූ දිවැසිවරයකු යළිත් නැගිට ඇතැයි ද කී බැවිනි.</verse>
				<verse number="9">එහෙත් හෙරෝද් කතා කරමින්, “යොහන්ගේ හිස ගසා දැමුවේ මමයි. එහෙත් කවුරු ද මේ මට අසන්නට ලැබෙන දෑ කරන්නේ?” යි පැවසී ය. ඔහු උන්වහන්සේ දකින්නට උත්සාහ කළේ ය.</verse>
				<verse number="10">අපෝස්තුලුවරු පෙරළා පැමිණ, තමන් කළ දෑ ගැන උන්වහන්සේට පැවසූහ. එවිට උන්වහන්සේ ඔවුන් වෙනම කැඳවාගෙන බෙත්සයිදා නම් වූ නුවරකට ගිය සේක.</verse>
				<verse number="11">එහෙත් ඒ වග දැනගත් සමූහයා, උන්වහන්සේ පසුපසින් ඇදී ගියහ. සාදරයෙන් ඔවුන් පිළිගත් උන්වහන්සේ, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට කියා දී, සුවය අවැසි අය සුව කළ සේක.</verse>
				<verse number="12">දවස ගෙවෙමින් තිබියදී උන්වහන්සේ වෙත ආ දොළොස් දෙනා, “නවාතැන් සහ අහර සපයා ගන්නට මේ සෙනඟ අවට ගම්මාන හා පිටිසර පෙදෙස්වලට පිටත් කර යවන්න; මන්ද අප සිටින්නේ පාළු පෙදෙසකැ” යි කීහ.</verse>
				<verse number="13">උන්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබම ඔවුන්ට කෑමට යමක් සපයා දෙන්නැ” යි පැවසූ කල, ඔවුහු පිළිතුරු දෙමින්, “අප ගොස්, මේ මුළු පිරිසට ආහාර මිලදී ගතහොත් මිස, රොටි පහක් හා මසුන් දෙදෙනකුට වැඩි දෙයක් අප ළඟ නැතැ” යි කීහ.</verse>
				<verse number="14">(මන්ද එහි පිරිමින් පන්දහසක් පමණ වූහ.) “පනස් දෙනා බැගින් කාණ්ඩ වශයෙන් ඔවුන් හිඳුවන්නැ” යි යේසුස්වහන්සේ ගෝලයින්ට කී සේක.</verse>
				<verse number="15">ගෝලයෝ එලෙස සියල්ලන් හිඳ වූහ.</verse>
				<verse number="16">උන්වහන්සේ රොටි පහ සහ මසුන් දෙදෙනා ද ගෙන ස්වර්ගය දෙස ඉහළ බලා, ඒවා ගැන ආශිර්වාදය පැවසූ සේක. ඉන්පසු ඒවා කැඩූ උන්වහන්සේ සමූහයා ඉදිරියේ තබන පිණිස, ගෝලයින්ට දුන් සේක.</verse>
				<verse number="17">සැවොම ඒවා කෑමෙන් තෘප්තියට පත් වූහ. ඉතිරි වූ කැබලි එකතු කරනු ලැබ, කූඩ දොළහක් පුරවාගනු ලැබිණ.</verse>
				<verse number="18">වරෙක උන්වහන්සේ තනිව යාච්ඤා කරමින් සිටියදී, ගෝලයෝ ද උන්වහන්සේ සමඟ වූහ. උන්වහන්සේ ඔවුන් අමතමින්, “සමූහයා කියන්නේ මා කවුරු ය කියා දැ?” යි ඇසූ සේක.</verse>
				<verse number="19">ඔවුහු පිළිතුරු දෙමින්, “යොහන් බව්තීස්ත ය කියා ය, සමහරු දිවැසිවර එලියා ය කියා ද අන් සමහරු පෙර විසූ දිවැසිවරයෙක් නැගිට ඇත කියා ද කියති” යි කීහ.</verse>
				<verse number="20">එවිට උන්වහන්සේ, “කුමක් ද ඔබ කියන්නේ? ඔබ කියන්නේ මා කවරෙක් ය කියා දැ?” යි ඇසූ සේක. පේතෘස් පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේ යැ” යි කීවේ ය.</verse>
				<verse number="21">මේ වග කිසිවකුටත් නො කියන ලෙස අණ කරමින්, උන්වහන්සේ ඔවුන්ට නියෝග කර,</verse>
				<verse number="22">“මනුෂ්‍ය පුත්‍රයා බොහෝ දුක් විඳින්නටත්, වැඩිහිටියන් ද නායක පූජකයින් හා දහම් පඬිවරුන් ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නට හා මරා දමනු ලබන්නටත්, තුන් වන දවසේ නැවත නැගිටුවනු ලබන්නටත් ඕනෑ” යි පැවසූ සේක.</verse>
				<verse number="23">ඉන්පසු සියල්ලන් ඇමතූ උන්වහන්සේ, “යම් කෙනෙක් මා අනුව එන්නට කැමති නම්, ඔහු තමාම ප්‍රතික්ෂේප කර, දිනපතා තම කුරුසිය උසුලා, මා අනුව එත්වා.</verse>
				<verse number="24">මන්ද තම ජීවිතය රැක ගන්නට සොයන්නා, එය අහිමි කරගනී. එහෙත් මා නිසා සිය ජීවිතය අහිමි කරගන්නා, එය රැකගනී.</verse>
				<verse number="25">යමෙක් මුළු ලොවම දිනාගත් නමුදු, තම ජීවිතය නැති කරගනී නම් හෝ අහිමි කරගනී නම්, ඔහුට ඉන් කවර පලක් ද?</verse>
				<verse number="26">යමෙක් මා ගැනත්, මාගේ වචන ගැනත් ලජ්ජා වන්නේ නම්, මනුෂ්‍ය පුත්‍රයාණන් තමන්ගේ තේජසින් ද පියාණන්වහන්සේගේ හා ශුද්ධ වූ දේව දූතයින්ගේ තේජසින් ද යුක්තව එන කල, ඒ තැනැත්තා ගැනත් ලජ්ජා වනු ඇත.</verse>
				<verse number="27">“සැබවින් ම මා ඔබට කියන්නේ, දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින තුරු, මෙහි සිටගෙන සිටින්නන්ගෙන් ඇතමෙක් මරණය නො විඳින්නේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="28">මෙසේ පවසා අට දිනකට පමණ පසු යේසුස්වහන්සේ පේතෘස්, යොහන් හා යාකොබ් කැටුව යාච්ඤා කරන්නට කන්දට නැගුණු සේක.</verse>
				<verse number="29">යාච්ඤා කරන අතරදී උන්වහන්සේගේ මුහුණේ පෙනුම වෙනස් විය. උන්වහන්සේ හැඳි වස්ත්‍ර, සුදෝ සුදු දීප්තියකින් යුතු විණ.</verse>
				<verse number="30">මෙන්න, එවිට මිනිසුන් දෙදෙනෙක් උන්වහන්සේ සමඟ කතා කරමින් සිටියහ; ඔවුහු නම් මෝසෙස් හා එලියා ය.</verse>
				<verse number="31">තේජාලංකාරයෙන් යුතුව දර්ශන වූ ඔවුන් කතා කරමින් සිටියේ යෙරුසලමේදී උන්වහන්සේ ඉටු කරන්නට යන නික්මයෑම පිළිබඳව ය.</verse>
				<verse number="32">පේතෘස් හා ඔහු සමඟ වූවෝ තද නිදි බරව සිටියහ. එහෙත් ඔවුහු මුළුමනින්ම පිබිද, උන්වහන්සේගේ තේජස ද උන්වහන්සේ සමඟ සිටි මිනිසුන් දෙදෙනා ද දුටුවහ.</verse>
				<verse number="33">ඒ දෙදෙන යේසුස්වහන්සේ වෙතින් ඉවත යද්දී උන්වහන්සේ ඇමතූ පේතෘස්, තමා කියන්නේ කුමක්දැයි නො දැන, “ස්වාමිනි, මෙහි සිටීම අපට හොඳයි; අපි කූඩාරම් තුනක් හදමු; ඔබට එකක්, මෝස‍ෙස්ට එකක්, එලියාට එකක්” යැයි කීවේ ය.</verse>
				<verse number="34">ඔහු එසේ කියද්දී වලාකුළක් ඔවුන් වසා ගත්තේ ය. වලාවෙන් වැසී ගිය කල, ඔවුහු බය වූහ.</verse>
				<verse number="35">එවිට, “මේ මාගේ පුත්‍රයා ය, මා තෝරාගත් තැනැත්තාණන් ය. එතුමාණන්ට සවන් දෙනු” යි වලාකුළින් කටහඬක් නික්ම ආවේ ය.</verse>
				<verse number="36">ඒ කටහඬ නැවතුණු පසු, එතැන යේසුස්වහන්සේ පමණක් තනිව සිටිනු දක්නා ලදී. මේ දෑ ගැන මුනිවත රකිමින් ඔවුහු තමන් දුටු දෑ ගැන එකල්හිදී කිසිවකුටත් නො පැවසූහ.</verse>
				<verse number="37">පසු දින ඔවුන් කන්දෙන් බැස එන කල, මහත් ජන සමූහයක් උන්වහන්සේට මුණ ගැසිණි.</verse>
				<verse number="38">එවිට මෙන්න, පිරිසෙන් කෙනෙක් උන්වහන්සේට මොර ගසමින්, “ගුරුතුමනි, අනේ මගේ පුතා දෙස බලන්නැයි අයදින්නෙමි. මන්ද මොහු මාගේ එකම දරුවායි.</verse>
				<verse number="39">බලන්න, ආත්මයක් ඔහුට වැහී, හිටි හැටියේ කෑ මොර දෙයි; කටින් පෙණ දමන තුරු හොඳටෝම ඔහු වෙවුලවයි; දරුවාට බොහෝ වධ දී මිස, ලෙහෙසියෙන් ඉවත්ව නො යයි.</verse>
				<verse number="40">ඌ දුරු කරන මෙන් ඔබගේ ගෝලයන්ගෙන් මා ඉල්ලූ නමුත් ඔවුන්ට එය කළ නො හැකි වී යැ” යි කීවේ ය.</verse>
				<verse number="41">“අහෝ! ඇදහිලි හීන හිතුවක්කාර පරම්පරාව, තව කොතෙක් කල් මම ඔබ සමඟ සිට ඔබ ගැන ඉවසා සිටිම් දැ?” යි පිළිතුරු දුන් යේසුස්වහන්සේ, “ඔබේ පුත්‍රයා මෙහි ගෙනෙන්නැ” යි කී සේක.</verse>
				<verse number="42">ළමයා එද්දී ද යක්ෂාත්මය ඔහු වෙවුලවා බිම හෙළී ය. එහෙත් යේසුස්වහන්සේ අපවිත්‍ර ආත්මයට තරවටු කොට, දරුවා සුව කර, ඔහුගේ පියාට ඔහු බාර දුන් සේක.</verse>
				<verse number="43">ඔවුහු සියල්ලෝ දෙවියන්වහන්සේගේ මහානුභාවය ගැන මවිත වූහ. උන්වහන්සේ සිදු කළ සියල්ල ගැන සැවොම මවිත වෙමින් සිටියදී, තම ගෝලයින් ඇමතූ උන්වහන්සේ,</verse>
				<verse number="44">“මේ වචන ඔබේ කන් පතුළට බසිත්වා. මනුෂ්‍ය පුත්‍රයා මිනිසුන්ගේ අත්වලට පාවා දෙනු ඇතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="45">එහෙත් ඒ කියමන ඔවුන්ට වැටහුණේ නැත. එය ඔවුන්ගෙන් සැඟවී තිබුණේ ඔවුන්ට එය නො වැටහෙන පිණිස ය. ඒ කියමන ගැන උන්වහන්සේගෙන් අසන්නට ද ඔවුහු බය වූහ.</verse>
				<verse number="46">තමන් අතර වඩාත් උත්තමයා කවුරුදැයි ඔවුන් අතර විවාදයක් හට ගත්තේ ය.</verse>
				<verse number="47">යේසුස්වහන්සේ ඔවුන්ගේ සිත්වල අදහස් දැන, කුඩා දරුවකු තමා පසෙකින් සිටුවා, තම ගෝලයින් අමතමින්,</verse>
				<verse number="48">“මාගේ නාමයෙන් මේ දරුවා පිළිගන්නා යමෙක් වේ ද, ඔහු මා පිළිගනියි; මා පිළිගන්නා යමෙක් වේ ද, ඔහු මා එවූ තැනැන්වහන්සේ පිළිගනියි. මන්ද ඔබ අතරේ වඩා උත්තමයා, ඔබ අතරේ ඉතාම සුළු තැනැත්තා” යි පැවසූ සේක.</verse>
				<verse number="49">යොහන් කතා කරමින්, “ගුරුතුමනි, කෙනෙක් ඔබගේ නාමයෙන් යක්ෂාත්ම දුරු කරනු අප දැක්කා. ඔහු නවතන්නට අප උත්සාහ කළා; මන්ද ඔහු අපේ පිරිසේ කෙනෙක් නො වේ” යි කීවේ ය.</verse>
				<verse number="50">“ඔහු නවතන්න එපා! මන්ද ඔබට විරුද්ධ නැති තැනැත්තා ඔබේ පැත්තේ යැ” යි යේසුස්වහන්සේ ඔහුට පැවසූ සේක.</verse>
				<verse number="51">යේසුස්වහන්සේ ඔසවනු ලැබීමේ දවස් ළඟා වෙත්ම, යෙරුසලමට යන පිණිස තම මුහුණ යොමු කර,</verse>
				<verse number="52">තමන්ට පෙරටුව දූතයින් යැවූ සේක. ඔවුහු උන්වහන්සේ උදෙසා පිළියෙල කරන්නට සමාරියයන්ගේ ගමකට පිවිසුණහ.</verse>
				<verse number="53">එහෙත් එහි ජනයා උන්වහන්සේ පිළිගත්තේ නැත; මන්ද උන්වහන්සේ යෙරුසලම දෙසට මුහුණ යොමු කර යමින් සිටි බැවිනි.</verse>
				<verse number="54">ඒ දුටු යාකොබ් හා යොහන්, “ස්වාමිනි, මොවුන් දවාලන්නට අහසින් ගිනි බසින ලෙසට ඉල්ලන්න අපට අවසර දැ?” යි ඇසූහ.</verse>
				<verse number="55">එහෙත් උන්වහන්සේ ඔවුන් වෙත හැරී ඔවුනට තරවටු කළ සේක.</verse>
				<verse number="56">ඔවුහු වෙනත් ගමකට පිය නැඟූහ.</verse>
				<verse number="57">ඔවුන් ගමනේ යෙදෙද්දී, උන්වහන්සේ ඇමතූ කෙනෙක්, “ඔබතුමා කොහේ යතත්, මම ඔබ පසුපස එන්නෙමි” යි කීවේ ය.</verse>
				<verse number="58">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “සිවලුන්ට ගුහාත්, අහස් පක්ෂීන්ට කැදලිත් තිබේ. එහෙත් මනුෂ්‍ය-පුත්‍රයාට තම හිස තැබීමටවත් තැනක් නැතැ” යි කී සේක.</verse>
				<verse number="59">“මා අනුව එන්නැ” යි උන්වහන්සේ වෙනත් කෙනකුට කී විට, ඔහු පිළිතුරු දෙමින්, “ස්වාමිනි, පළමුව මා ගොස්, මගේ පියා භූමිදාන කරන්නට අවසර” යි කීවේ ය.</verse>
				<verse number="60">යේසුස්වහන්සේ ඔහුට කතා කොට, “මළාහු තම මළවුන් වැළලුවා වේ. ඔබ ගොස්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශ කරන්නැ” යි කී සේක.</verse>
				<verse number="61">තවත් කෙනෙක්, “ස්වාමිනි, මම ඔබ අනුව එමි. එනමුත් පළමුව මගේ ගෙදර අයගෙන් සමුගෙන එන්නට ඉඩ දෙන්නැ” යි කීවේ ය.</verse>
				<verse number="62">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “නඟුලේ අත තබා, ආපසු හැරී බලන කිසිවකු දෙවියන්වහන්සේගේ රාජ්‍යයට සුදුසු නැතැ” යි පැවසූ සේක.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">මෙයින් පසු ස්වාමින්වහන්සේ තවත් හැත්තෑදෙදෙනකු පත් කර, උන්වහන්සේ යෑමට අදහස් කළ සියලු නගර හා පෙදෙස් කරා දෙදෙනා බැගින් තමන්ට පෙරටුව ඔවුන් පිටත් කළ සේක.</verse>
				<verse number="2">උන්වහන්සේ ඔවුන් අමතමින්, “අස්වැන්න අධිකයි; එහෙත් සේවකයින් ඇත්තේ ස්වල්ප දෙනයි. එබැවින් තමාගේ අස්වනු නෙළීමට සේවකයින් එවන ලෙස අස්වැන්නේ ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්න.</verse>
				<verse number="3">යන්න! මා දැන් ඔබ පිටත් කර යවන්නේ, වෘකයින් මැදට බැටළු පැටවුන් යවන ලෙසයි.</verse>
				<verse number="4">මුදල් පසුම්බියක් හෝ ගමන් මල්ලක් හෝ පාවහන් හෝ නො ගෙන, පිටත් වන්න. මඟදී හමුවන කිසිවකුට ආචාර නො කරන්න.</verse>
				<verse number="5">“යම් නිවසකට ඇතුළු වන කල, පළමුව, ‘මේ නිවසට සාමය වේවා!’ යි කියන්න.</verse>
				<verse number="6">සාමයේ පුතකු ඒ නිවසේ සිටී නම්, ඔබගේ සාමය ඔහු පිට රඳනු ඇත. එසේ නො වේ නම්, එය ආපසු ඔබ වෙත එනු ඇත.</verse>
				<verse number="7">කෑමට, බීමට ඔවුන් දෙන දෙයක් ගෙන, එහිම නවාතැන් ගන්න. මන්ද සේවකයා ඔහුගේ ගාස්තුව ලබන්නට සුදුසු ය; ගෙන් ගෙට මාරු නො වන්න.</verse>
				<verse number="8">“යම් නගරයකට ඇතුළු වන කල, ඔවුන් ඔබ පිළිගත් විට, ඔබ ඉදිරියේ තබන දෙයක් භුක්ති විඳින්න.</verse>
				<verse number="9">එහි සිටින රෝගීන් සුව කර, ‘දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබට ළංව ඇතැ’ යි ඔවුන්ට කියන්න.</verse>
				<verse number="10">එහෙත් ඔබ යම් නගරයකට ඇතුළු වූ කල, ඔවුන් ඔබ නො පිළිගැනේ නම්, එහි වීදිවලට ගොස්,</verse>
				<verse number="11">‘අපේ පා වැකුණු ඔබේ නගරයේ දූලි පවා ඔබට එරෙහිව මෙසේ ගසා දමන්නෙමු. කෙසේ වෙතත් දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළංව ඇති බව දැනගන්නැ’ යි ඔවුන්ට කියන්න.</verse>
				<verse number="12">මා ඔබට කියන්නේ, ඒ දවසේදී එම නගරයට වඩා සොදොමට දැරිය හැකි වන බවයි.</verse>
				<verse number="13">“අහෝ කොරාසීනය, ඔබට වන විපතක මහත! අහෝ බෙත්සයිදා, ඔබට වන විපතක මහත! මන්ද නුඹ දෙපොලේ කරන ලද බලවත් ක්‍රියා තීර් හා සීදොන්හි දී කරන ලද නම්, මීට බොහෝ කලින් ඔවුන් ගෝණි පඩංගු හැඳ, අළු මත හිඳ, පසුතැවිලි වන්නට තිබිණි.</verse>
				<verse number="14">එනමුත් විනිශ්චය දවසේ ඔබට වඩා තීර් හා සීදොන්වලට දැරිය හැකි වනු ඇත.</verse>
				<verse number="15">එම්බා කපර්ණවුම! නුඹ ස්වර්ගය දක්වා උසස් කරනු ලැබේ ද? නැත! නුඹ පාතාලය දක්වා පහත් කරනු ලබනු ඇත.</verse>
				<verse number="16">“ඔබට සවන් දෙන්නා, මට සවන් දෙයි. ඔබ ප්‍රතික්ෂේප කරන්නා, මා ප්‍රතික්ෂේප කරයි. මා ප්‍රතික්ෂේප කරන්නා, මා එවූ තැනැන්වහන්සේ ප්‍රතික්ෂේප කරයි” යනුවෙන් පැවසූ සේක.</verse>
				<verse number="17">ප්‍රීතියෙන් පෙරළා පැමිණි හැත්තෑදෙදෙන, “ස්වාමිනි, ඔබගේ නාමයෙන් යක්ෂාත්ම පවා අපට යටත් වෙනවා” යි කීහ.</verse>
				<verse number="18">උන්වහන්සේ පිළිතුරු දෙමින්, “සාතන් අකුණක් සේ අහසින් ඇද වැටෙනු මා දැක්කා.</verse>
				<verse number="19">ඔන්න, සර්පයින් හා ගෝනුස්සන් පාගා දමන්නටත්, සතුරාගේ ශක්තිය මුළුමනින් මැඩලන්නටත්, මා ඔබට බලය දී තියෙනවා. කිසිවකින් ඔබට අනතුරු නො වේ.</verse>
				<verse number="20">කෙසේ වෙතත් ඒ යක්ෂාත්ම ඔබට යටත් වන නිසා ප්‍රීති නො වී, ඔබගේ නාම ස්වර්ගයේ ලියවී ඇති නිසා ප්‍රීති වන්නැ” යි පැවසූ සේක.</verse>
				<verse number="21">ඒ අවස්ථාවේදී යේසුස්වහන්සේ ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ ප්‍රමෝදයෙන්, “ස්වර්ගයට හා පොළොවට ස්වාමියාණන් වූ පියාණන්වහන්ස, ඔබවහන්සේ ප්‍රඥාවතුන්ගෙන් හා උගතුන්ගෙන් මේ දෑ සඟවා, ළා-බාලයින්හට එළිදරවු කළ බැවින්, මම ඔබට ස්තුති කරමි. එසේය පියාණෙනි, ඔබගේ ප්‍රිය මනාපය වූයේ එයයි.</verse>
				<verse number="22">“මගේ පියාණන්වහන්සේ සියලු දේ මට බාර දී ඇත. පියාණන්වහන්සේ හැර, අන් කිසිවෙක් පුත්‍රයාණන් කවුදැයි හඳුනන්නේ නැත. එසේම පුත්‍රයාණන් හා පුත්‍රයාණන් විසින් යමකුට පියාණන්වහන්සේ එළිදරවු කිරීමට තෝරාගත් අය ද හැර, අන් කිසිවෙක් පියාණන්වහන්සේ කවුදැයි හඳුනන්නේ නැතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="23">ඉන්පසු තම ගෝලයින් වෙත හැරුණු උන්වහන්සේ පෞද්ගලිකව ඔවුන් අමතමින්, “ඔබ දකින දේ පෙනෙන ඇස් භාග්‍යවත්!</verse>
				<verse number="24">මන්දැයි මා ඔබට කියන්නම්; බොහෝ දිවැසිවරුන් හා රජවරුන් ඔබ දකින දේ දකින්නට ආශා කළත්, එය දුටුවේ නැත. ඔබ අසන දේ අසන්නට ආශා කළත්, ඔවුන් එය ඇසුවේ නැතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="25">එවිට මෙන්න! දහම් පඬිවරයෙක් යේසුස්වහන්සේ පරීක්ෂා කරන්නට නැගිට, “ගුරුතුමනි, සදාතන ජීවනය උරුම කර ගන්නට, මා කුමක් කළ යුතු දැ?” යි ඇසී ය.</verse>
				<verse number="26">“උන්වහන්සේ පිළිතුරු දෙමින්, දහම් නීතියේ ලියා ඇත්තේ කුමක් ද? ඔබ එය කියවන්නේ කොහොම දැ?” යි ඇසූ සේක.</verse>
				<verse number="27">ඔහු පිළිතුරු දෙමින්, “ ‘ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ජීවයෙන් ද ඔබේ මුළු ශක්තියෙන් ද ඔබේ මුළු බුද්ධියෙන් ද ප්‍රේම කරන්න’; ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්නැ’ යි” කීවේ ය.</verse>
				<verse number="28">එවිට උන්වහන්සේ, “ඔබේ පිළිතුර නිවැරදියි; එලෙස කරන්න; එවිට ඔබ ජීවත්වනු ඇතැ” යි ඔහුට පැවසූ සේක.</verse>
				<verse number="29">එහෙත් ඔහු තම නිදොස් බව දක්වන්නට කැමතිව, “කවුරු ද මගේ අසල්වැසියා?” යි යේසුස්වහන්සේගෙන් ඇසී ය.</verse>
				<verse number="30">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “එක් මිනිහෙක් යෙරුසලමේ සිට යෙරිකෝව බලා යමින් සිටියදී, මංකොල්ලකරුවනට හසුවුණා. මංකොල්ලකරුවෝ, ඔහු නිර්වස්ත්‍ර කොට, ඔහුට තළා-පෙළා, නොමරා මරා, හැර ගියා.</verse>
				<verse number="31">පූජකයකුට ඒ මගෙහිම යන්නට සිදු වුණා. පූජකයා ඔහු දුටු කල, පාරේ අනෙක් පැත්තෙන් ඔහු මග හැර ගියා.</verse>
				<verse number="32">ලෙවීයයෙක් ද එලෙසම එතැනට පැමිණ, ඒ මිනිහා දැක, පාරේ අනෙක් පැත්තෙන් ගියා.</verse>
				<verse number="33">එහෙත් ඒ මගේ ආ එක් සමාරිය මිනිහෙක් ඒ මිනිසා වැටී සිටි තැනට ළඟා වූ කල, ඔහු දැක අනුකම්පා උපදවා,</verse>
				<verse number="34">ඔහු අසලටම ගියා. ඒ මිනිසාගේ තුවාලවල තෙල් හා මිදි යුෂ ගල්වා, ඒවා වෙළූ ඔහු, තමා නැගී ආ සිව්පාවා පිට ඔහු හිඳුවා, තානායමකට ගෙන ගොස්, ඔහු බලා ගත්තා.</verse>
				<verse number="35">පසු දින ඔහු ඩිනාරි දෙකක් ගෙන තානායම්කරුට දී, ‘මොහු බලා ගන්න; මීට වඩා මුදලක් වැය වෙතොත් මා ආපසු එන විට එය ඔබට ගෙවන්නම්’ කීවා.</verse>
				<verse number="36">“ඔබ සිතන්නේ කුමක් ද? මංකොල්ලකරුවන් අතට අසු වූ තැනැත්තාට අසල්වැසියා වූයේ මේ තිදෙනාගෙන් කවුරු දැ?” යි ඇසූ සේක.</verse>
				<verse number="37">“ඔහුට දයාව පෑ තැනැත්තා යැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය. “ඔබත් ගොස්, එලෙසම කරන්නැ” යි යේසුස්වහන්සේ ඔහුට කී සේක.</verse>
				<verse number="38">ඔවුන් යන මාර්ගයේ යද්දී, යේසුස්වහන්සේ එක් ගමකට පැමිණි කල, මාර්තා නම් වූ ස්ත්‍රියක් තම නිවසට උන්වහන්සේ පිළිගත්තා ය.</verse>
				<verse number="39">මරියා නම් වූ ඇගේ සහෝදරිය, ස්වාමින්වහන්සේගේ පාමුල හිඳ, උන්වහන්සේ කී දෑ අසා සිටියා ය.</verse>
				<verse number="40">එහෙත් සත්කාර බොහොමයක් ගැන සිත් කලබල කර ගත් මාර්තා, ස්වාමින්වහන්සේ වෙත පැමිණ, “ස්වාමිනි, මගේ සහෝදරිය මේ සියලු වැඩ මා විසින් තනිව කරන්නට හැර, පැත්තකට වී සිටින හැටි ඔබ සලකන්නේ නැති ද? මට උදවු කරන්න කියා ඇයට කියන්නැ” යි කීවා ය.</verse>
				<verse number="41">එහෙත් ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “මාර්තා, මාර්තා, ඔබ බොහෝ දේ ගැන කනස්සලු වෙමින්, නො සන්සුන් වෙලා.</verse>
				<verse number="42">එනමුත් අවශ්‍ය වන්නේ එක් දෙයයි. මරියා තෝරා ගෙන ඇත්තේ වඩා හොඳ කොටසයි. ඒ දේ ඈ කෙරෙන් පැහැර ගනු ලබන්නේ නැතැ” යි ඇයට කී සේක.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">යේසුස්වහන්සේ වරක් එක්තරා තැනක යාච්ඤා කරමින් සිට, එය නිම වූ කල, උන්වහන්සේ ඇමතූ උන්වහන්සේගේ ගෝලයෙක්, “ස්වාමිනි, යොහන් තම ගෝලයින්ට ඉගැන්වූවාක් මෙන්, අපටත් යාච්ඤා කරන්න උගන්වන්නැ” යි කීවේ ය.</verse>
				<verse number="2">උන්වහන්සේ ඔවුන්ට කතා කරමින්, “ඔබ යාච්ඤා කරන විට මෙසේ පවසන්න: “ ‘පියාණන්වහන්ස, ඔබගේ නාමය පාරිශුද්ධව සැලකේවා, ඔබගේ රාජ්‍යය පැමිණේවා,</verse>
				<verse number="3">අපගේ දිනපතා භෝජනය, හැම දිනකම අපට දුන මැනව,</verse>
				<verse number="4">අපට වරද කරන හැම කෙනකුට අප කමා වන බැවින්, අපගේ පාප, අපට කමා කළ මැනව; පරීක්ෂාවනට අප නො පැමුණුව මැනව.’ ”</verse>
				<verse number="5">උන්වහන්සේ ඔවුන්ට කතා කරමින්, “මිතුරකු සිටින ඔබගෙන් කෙනෙක්, මැදියම් රැයේ ඔහු වෙත ගොස්, ‘මිතුර, මට රොටි තුනක් දෙන්න.</verse>
				<verse number="6">දුර ගමනක් යන මගේ මිතුරෙක් මා වෙත පැමිණ සිටී. ඔහුට සංග්‍රහ කරන්නට මා ළඟ කිසිවක් නැතැ’ යි කියන්නේ යයි සිතමු.</verse>
				<verse number="7">එවිට මිතුරා ගෙතුළ සිට පිළිතුරු දෙමින්, ‘මට කරදර කරන්න එපා. දොරත් දැන් වහලා; මගේ දරුවන් මා සමඟ ඇඳේ නිදා සිටින නිසා, කිසිවක් දෙන්නට දැන් මට නැගිටින්න බැහැ’ යි කියාවි ද?</verse>
				<verse number="8">මා ඔබට කියන්නේ, ඔහු තමන්ගේ මිතුරුකම සලකා, නැගිට ඔහුගේ ඉල්ලීම ඉටු නො කරතත්, ඔහුගේ තිරසර පෙරැත්තය නිසා නැගිට, ඔහුට වුවමනා දෑ දෙනු ඇත කියායි.</verse>
				<verse number="9">“එබැවින් මා ඔබට කියන්නේ, ඉල්ලන්න; එවිට ඔබට දෙනු ලැබේ. සොයන්න; එවිට ඔබට සම්බ වේ. තට්ටු කරන්න; එවිට ඔබට දොර අරිනු ලැබේ.</verse>
				<verse number="10">මන්ද ඉල්ලන හැමට ලැබේ; සොයන්නාට සම්භ වේ; තට්ටු කරන්නාට අරිනු ලැබේ.</verse>
				<verse number="11">“ඔබ අතරින් කවර පියෙක් තම පුත්‍රයා මාළුවකු ඉල්ලූ කල, ඒ වෙනුවට සර්පයකු දෙයි ද?</verse>
				<verse number="12">නැතහොත් බිත්තරයක් ඉල්ලූවිට ගෝනුස්සකු දෙයි ද?</verse>
				<verse number="13">නපුරු වූ ඔබ ඔබගේ දරුවන්ට හොඳ ත්‍යාග දෙන්නේ කෙසේදැයි දනී නම්, ස්වර්ගයේ සිටින ඔබගේ පියාණන්වහන්සේ තමන්ගෙන් ඉල්ලන්නන්ට කොතරම් අධිකව ශුද්ධාත්මයාණන් නො දේ දැ!” යි කී සේක.</verse>
				<verse number="14">වරක් උන්වහන්සේ ගොළු යක්ෂාත්මයක් දුරු කරමින් සිටි සේක. යක්ෂාත්මය දුරු වෙත්ම ගොළු වී සිටි මිනිසා කතා කළේ ය. එවිට ජනයා විස්මිත වූහ.</verse>
				<verse number="15">එහෙත් සමහරෙක්, “මොහු යක්ෂාත්ම දුරු කරන්නේ, යක්ෂාධිපති බෙල්සෙබුල් මාර්ගයෙනැ” යි කීහ.</verse>
				<verse number="16">අන් සමහරු උන්වහන්සේ පරීක්ෂා කරමින්, ස්වර්ගයෙන් ලකුණක් දක්වන්නැයි ඉල්ලූහ.</verse>
				<verse number="17">එහෙත් උන්වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන, ඔවුන් අමතමින්, “කිසියම් රාජ්‍යයක්, එයටම එරෙහිව බෙදුනහොත්, එය බිඳ වැටෙයි. පවුලක්, ඊටම එරෙහිව බෙදුනහොත්, එය ඇද වැටෙයි.</verse>
				<verse number="18">මෙසේ, සාතන් තමන්ටම එරෙහිව බෙදුනහොත්, ඔහුගේ රාජ්‍යය පවතින්නේ කෙසේ ද? මන්ද මා යක්ෂාත්ම දුරු කරන්නේ බෙල්සෙබුල් මාර්ගයෙනැයි ඔබ කියති.</verse>
				<verse number="19">මා යක්ෂාත්ම දුරු කරන්නේ බෙල්සෙබුල් මඟින් නම්, ඔබේ පුතුන් උන් දුරු කරන්නේ කවරකු මඟින් ද? එබැවින්, ඔවුන්ම ඔබගේ විනිශ්චයකරුවන් ය.</verse>
				<verse number="20">එනමුත් මා යක්ෂාත්මයන් දුරු කරන්නේ දෙවියන්වහන්සේගේ ඇඟිල්ල මඟින් නම්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබ කෙරේ පැමිණ ඇත.</verse>
				<verse number="21">“ආයුධ සන්නද්ධ බලවන්තයා තම ගෙය රකිනා කල, ඔහු සතු දෑ සුරක්ෂිතයි.</verse>
				<verse number="22">එහෙත් ඔහුට වඩා බලවතෙක් පැමිණි කල, ඔහුට පහර දී යටත් කර, ඔහු විශ්වාසය තැබූ අවි ආයුධ ද පැහැරගෙන, කොල්ලකා ගත් දේ බෙදා දෙයි.</verse>
				<verse number="23">“මා සමඟ නො වන තැනැත්තා මට විරුද්ධ ය. මා හා එක්රැස් නො කරන්නා විසුරුවා හරියි.</verse>
				<verse number="24">“අශුද්ධ ආත්මයක් මිනිසකුගෙන් දුරුව ගිය පසු, දිය නැති තැන්හි යමින්, නවාතැන් සොයා, එය නො ලැබුණ කල, ‘මා පිට වී ආ නිවසටම ආපසු යමි’ යි කියයි.</verse>
				<verse number="25">එසේ ආ කල ඒ නිවස අතුගා, පවිත්‍ර කොට, නිසි පිළිවෙලකට තබා තිබෙනු දකියි.</verse>
				<verse number="26">එවිට ඔහු පිටත්ව ගොස්, තමාටත් වඩා දුෂ්ට වූ තවත් යක්ෂාත්ම හත්දෙනකු සමඟ අවුත්, ඇතුළු වී, එහි පදිංචි වෙයි. එවිට ඒ මිනිසාගේ අවසන් තත්වය, පළමු තත්වයටත් වඩා නරක් වේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="27">උන්වහන්සේ මෙසේ පවසද්දී, රැස්ව සිටි පිරිස අතරේ සිටි එක් ස්ත්‍රියක්, “ඔබ දරා සිටි කුසය හා ඔබට කිරි දුන් ළැම ආශිර්වාදිත යැ” යි හඬ නගා කීවා ය.</verse>
				<verse number="28">එහෙත් උන්වහන්සේ, “එසේය දෙවියන්වහන්සේගේ වචනය අසා, ඒ අනුව ජීවත්වන්නෝ ඊටත් වඩා ආශිර්වාදිත යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="29">ජන සමූහයා වඩාත් එක්රොක් වෙද්දී, ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “මේ දුෂ්ට වූ පරම්පරාවක්. ඔවුන් ලකුණක් සොයනවා. එහෙත් යෝනාගේ ලකුණ මිස, අන් ලකුණක් ඔවුන්ට දෙනු ලබන්නේ නැත.</verse>
				<verse number="30">මන්ද යෝනා, නිනිවයේ වැසියනට ලකුණක් වූයේ යම් සේ ද, එසේම මනුෂ්‍ය පුත්‍රයාණන් ද මේ පරම්පරාවට ලකුණක් වෙයි.</verse>
				<verse number="31">දකුණු දිශාවේ රැජින විනිශ්චයේදී මෙම පරම්පරාව සමඟ නැගිට, මොවුන් වරදට පත් කරනු ඇත. මන්ද සලමොන්ගේ ප්‍රඥාවට සවන් දෙන පිණිස, ඕ පොළෝ කෙළවරේ සිට ආවා ය. එහෙත් දැන්, මෙන්න, සලමොන්ට වඩා උතුම් කෙනෙක් මෙහි සිටී.</verse>
				<verse number="32">නිනිවයේ මිනිසුන් විනිශ්චයේදී මේ පරම්පරාව සමඟ නැගිට, මොවුන් වරදට පත් කරනු ඇත. මන්ද යෝනාගේ දේශනාවෙන් ඔවුහු පසුතැවිලි වූහ. දැන් මෙන්න! යෝනාට වඩා උතුම් කෙනෙක් මෙහි සිටී.</verse>
				<verse number="33">“පහනක් දල්වන කෙනකු, ඇතුළු වන අයට එළිය පෙනෙන පිණිස, පහන් රුකක් මත තබනවා මිස, කිසියම් මුල්ලක හෝ බඳුනක් යට හෝ තබන්නේ නැත.</verse>
				<verse number="34">ඔබේ සිරුරේ පහන ඇස ය. ඔබගේ ඇස නිරෝගී නම්, මුළු සිරුරත් ආලෝකයෙන් පිරෙයි. එහෙත් එය නරක් වූ කල, ඔබේ සිරුරත් අඳුරින් පිරෙයි.</verse>
				<verse number="35">එබැවින් ඔබ තුළ ඇති එළිය අඳුරු නො වන ලෙසට වගබලා ගන්න.</verse>
				<verse number="36">මෙසේ ඔබේ මුළු සිරුරම ආලෝකයෙන් පිරී ඇත්නම්, කිසියම් කොටසක අඳුරක් නැත්නම්, බබළමින් එළිය විහිදන පහනක් සේ එය මුළුමනින් ආලෝකවත් වනු ඇත.”</verse>
				<verse number="37">යේසුස්වහන්සේ කතා කරද්දී, පරිසිවරයෙක් තමා සමඟ ආහාර ගැනීමට උන්වහන්සේට ඇරියුම් කළේ ය. උන්වහන්සේ ගොස්, මේසයට වාඩි වූ සේක.</verse>
				<verse number="38">කෑමට පෙර උන්වහන්සේ අත් නො සේදූ වග දුටු පරිසියා පුදුම වූයේ ය.</verse>
				<verse number="39">එකල ඔහු ඇමතූ ස්වාමින්වහන්සේ, “පරිසිවරුන් වූ ඔබ පීරිසි-කෝප්පවල පිට පැත්ත සෝදන නමුත්, නුඹලාගේ ඇතුළාන්තය තණ්හාවෙන් හා දුෂ්ටකමින් පිරිලා.</verse>
				<verse number="40">අඥානයිනි, ඇතුල් පැත්ත සෑදුවෙත්, පිට පැත්ත සෑදූ තැනැත්තාම නො වේ ද?</verse>
				<verse number="41">එබැවින් ඇතුළේ ඇති දෙයින් දන් දෙන්න. මෙන්න, එවිට සියලු දේම ඔබට පවිත්‍ර වනු ඇත.</verse>
				<verse number="42">“පරිසිවරුනි, ඔබට වන විපතක මහත! මන්ද ඔබ සුවඳතලා, සුදුදුරු හා ගෙවතු පලා යන දැයින් දසයෙන් කොටස දෙන නමුත් යුක්තියත්, දෙවියන්වහන්සේට ප්‍රේමයත් නො සලකා හරිති. ඔබ පළමු කී දෑ පැහැර නො හැර මේ දෙවනුව කී දෑත් පිළිපැදිය යුතුව තිබේ.</verse>
				<verse number="43">“පරිසිවරුනි, ඔබට වන විපතක මහත! මන්ද සිනගෝගවල විශේෂ ආසන දැරීමටත්, ප්‍රසිද්ධ ස්ථානවලදී ගරු බුහුමන් ලැබීමටත් ඔබ ආශා වන බැවිනි.</verse>
				<verse number="44">“ඔබට වන විපතක මහත! මන්ද ඔබ නො පෙනෙන සොහොන් ගෙවලට සමාන ය; ඒ ගැන නො දැන ජනයා ඒ උඩින් ඇවිද යති” යි පැවසූ සේක.</verse>
				<verse number="45">එවිට දහම් නීති වේදියෙක් පිළිතුරු දෙමින්, “ගුරුතුමනි, ඔය විදියට කතා කිරීමෙන් ඔබ අපටත් ගැරහුම් කරනවා” යි කීවේ ය.</verse>
				<verse number="46">යේසුස්වහන්සේ යළි කතා කරමින්, “නීති වේදිනී, ඔබටත් වන විපතක මහත! දරන්නට බැරි බර, මිනිසුන් පිට පටවන ඔබ, ඔබගේ එක ඇඟිල්ලකින් පමණක්වත් ඊට උදවු කරන්නේ නැත.</verse>
				<verse number="47">“ඔබට වන විපතක මහත! මන්ද ඔබගේ පියවරුන් විසින් මරා දමන ලද දිවැසිවරුන්ගේ සොහොන් කොත් ඔබ ගොඩ නගති.</verse>
				<verse number="48">මෙයින් ඔබේ පියවරුන් කළ වැඩ ගැන සාක්ෂිකරුවන් හා ඊට එකඟවන්නන් වන්නේ ඔබයි; මන්ද ඔබේ පියවරු ඔවුන් මරා දැමූහ; ඔබ ඔවුන්ගේ සොහොන් කොත් ගොඩ නගති.</verse>
				<verse number="49">එබැවින් දෙවියන්වහන්සේගේ ප්‍රඥාව මෙසේ පවසා තිබේ. ‘මම දිවැසිවරුන් ද අපෝස්තුලුවරුන් ද ඔවුන් වෙත යවන්නෙමි. ඔවුහු ඔවුන්ගෙන් ඇතමකු මරා දමති; සෙසු අයට හිංසා කරති.’</verse>
				<verse number="50">එබැවින් ලෝකාරම්භයේ පටන් වගුරුවන ලද සියලු දිවැසිවරුන්ගේ ලේ ගැන, මෙම පරම්පරාව වගකිව යුතු වෙයි.</verse>
				<verse number="51">එසේය, ආබෙල්ගේ ලේ පටන් පූජාසනයටත්, ශුද්ධස්ථානයටත් අතරදී මරා දැමුණු සෙකරියාගේ ලේ දක්වා මේ පරම්පරාව වගකිව යුතු බව මම ඔබට කියමි.</verse>
				<verse number="52">“දහම් පඬිවරුනි, ඔබට වන විපතක මහත! මන්ද දැනගැන්මේ යතුර ඔබ ගෙන ගිය නමුදු, දොර ඇර ඔබ ඇතුළු වූයේ නැත; අන්‍යයන්ට ඇතුළු වීමට ඉඩ දුන්නේත් නැතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="53">උන්වහන්සේ එතැනින් පිටත් වූ පසු, දහම් පඬිවරුන් හා පරිසිවරුන් උන්වහන්සේ ලවා බොහෝ දෑ කතා කරවීමට උන්වහන්සේ පෙලඹවීමට දැඩි සේ වෙර දැරුවේ,</verse>
				<verse number="54">කට වචනයෙන් උන්වහන්සේ කොටු කර ගැනීමට රැක සිටිමිනි.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">මේ අතරතුර එකිනෙකා පෑගෙන තරමට දහස් ගණනින් ජන සමූහයා එක්රැස් වූ කල, පළමුවෙන් තම ගෝලයින් ඇමතූ යේසුස්වහන්සේ, “පරිසිවරුන්ගේ කුහකකම නැමති මුහුන්වලින් පරෙස්සම් වන්න.</verse>
				<verse number="2">එළිදරවු නො වන සේ සඟවන ලද කිසිවක් නැත; දැනගනු නො ලබන සේ වසන් කරන ලද කිසිවක් ද නැත.</verse>
				<verse number="3">එබැවින් අඳුරේ ඔබ කී දෑ, ආලෝකයේදී අසන්නට ලැබේ. තවද පෞද්ගලික කාමර තුළදී කනට කොඳුරා කී දෑ, ගෙපියසි උඩදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ලැබේ.</verse>
				<verse number="4">“මා මිතුරනි, මා ඔබට කියන්නේ, ශරීරය නසා දමන, ඊට පසු, වඩා වැඩි දෙයක් කළ නො හැකි අයට බය නො වන්න කියායි.</verse>
				<verse number="5">එනමුත් ඔබ බය විය යුත්තේ කවරකුටදැයි මා පෙන්වා දෙන්නම්; ඔබේ ශරීරය නසා දැමූ පසු ඔබ නිරයේ හෙළීමට බලය ඇති තැනැන්වහන්සේට බය වන්න. ඔව්, උන්වහන්සේට බය වන්න.</verse>
				<verse number="6">තුට්ටු දෙකකට ගේ කුරුල්ලන් පස් දෙනකු විකුණනවා නො වේ ද? එහෙත් උන්ගෙන් එකකුවත් දෙවියන්වහන්සේට අමතක නො වේ.</verse>
				<verse number="7">සැබවින් ම ඔබගේ හැම හිස කෙසක් පවා ගණන් කොට ඇත. බය නො වන්න! ගේ කුරුල්ලන් රාශියකටත් වඩා ඔබ වටී.</verse>
				<verse number="8">“මම ඔබට කියන්නම්; මිනිසුන් ඉදිරියේ මා පිළිගන්නා හැම කෙනකුම, දෙවියන්වහන්සේගේ දූතයින් ඉදිරියේදී මනුෂ්‍ය පුත්‍රයා විසින් පිළිගනු ලබති.</verse>
				<verse number="9">එහෙත් මිනිසුන් ඉදිරියේ මා ප්‍රතික්ෂේප කරන කවරකු වුවත්, දෙවියන්වහන්සේගේ දූතයින් ඉදිරියේදී ප්‍රතික්ෂේප කෙරේ.</verse>
				<verse number="10">මනුෂ්‍ය-පුත්‍රයාට එරෙහි වචනයක් පවසන හැම කෙනකුට කමා කරනු ලැබේ. එහෙත් ශුද්ධාත්මයාණන්ට එරෙහිව දේවාපහාස කරන කවරකුටවත් කමා කරනු නො ලැබේ.</verse>
				<verse number="11">“සිනගෝග ඉදිරියටත්, පාලකයින් හා අධිපතීන් ඉදිරියටත් ඔබ පමුණුවනු ලැබූ කල, නිදහසට කරුණු දක්වන්නේ කෙසේ ද කියා හෝ කිව යුත්තේ කුමක් ද කියා හෝ කනස්සලු නො වන්න.</verse>
				<verse number="12">මන්ද ඔබ කිව යුත්තේ කුමක්දැයි ඒ පැයේදී ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට කියා දෙනු ඇතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="13">සමූහයා අතරින් කෙනෙක් කතා කරමින්, “ගුරුතුමනි, මා සමඟ උරුමය බෙදා ගන්නා ලෙස මගේ සහෝදරයාට කියන්නැ” යි ඉල්ලී ය.</verse>
				<verse number="14">එහෙත් උන්වහන්සේ පිළිතුරු දෙමින්, “යහළුව, මා, ඔබ අතරේ විනිසකරුවකු හෝ බෙදුම්කරුවකු කොට පත් කළේ කවුරු දැ?” යි ඇසූ සේක.</verse>
				<verse number="15">ඉන්පසු ඔවුන් ඇමතූ උන්වහන්සේ, “සියලු ආකාර තණ්හාවෙන් පරෙස්සම් වන්නට සිතට ගන්න. මිනිසකුගේ ජීවිතය ඔහුට හිමි වස්තු සම්භාරය මත රැඳී නැතැ” යි කී සේක.</verse>
				<verse number="16">උන්වහන්සේ ඔවුන්ට උපමා කතාවක් පවසමින්, “ධනවත් මිනිසකුගේ භූමියෙන් සරු පලදාවක් ඉපැදවිණ.</verse>
				<verse number="17">එවිට ඔහු කල්පනා කරමින්, ‘මා මොකද කරන්නේ? මගේ පලදාව ගබඩා කරන්නට මට තැනක් නැහැ’ යි සිතී ය.</verse>
				<verse number="18">“ ‘හරි! මා කරන්නේ මෙයයි; මගේ අටු-කොටු කඩා, වඩා විශාල ඒවා ගොඩ නගා, මගේ ධාන්‍යයත්, බඩු භාණ්ඩත් එහි ගබඩා කරනවා.</verse>
				<verse number="19">ඉන්පසු මම, මටම මෙසේ කියමි, “මගේ ජීවය, වසර ගණනාවකට සෑහෙන්න හොඳ බඩු තොගයක් ගොඩගසා තිබේ. පහසු ගන්න; කන්න, බොන්න, ප්‍රීති වන්නැ” ’ යි කියා ගත්තේ ය.</verse>
				<verse number="20">“එහෙත් දෙවියන්වහන්සේ ඔහුට කතා කොට, ‘අඥාන ය, අද රැයේම ඔබේ ජීවය ඔබෙන් ගනු ලැබේ. එවිට ඔබ ගොඩගසා ගත් දෑ කවරකුට වේ දැ?’ යි කී සේක.</verse>
				<verse number="21">“දෙවියන්වහන්සේ හමුවේ පොහොසත් නො වී, තමන් උදෙසා වස්තුව රැස් කරන අය ඒ ආකාර වෙතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="22">උන්වහන්සේ තම ගෝලයින් අමතමින්, “එබැවින් මා ඔබට කියන්නේ, කන්නේ මොනවා ද කියා ජීවිතය ගැනවත්, අඳින්නේ මොනවා ද කියා ශරීරය ගැනවත් කනස්සලු නො වන ලෙසයි.</verse>
				<verse number="23">මන්ද ජීවිතය, කෑමට වඩා වටිනා දෙයකි. ශරීරය, ඇඳුමට වඩා වටිනා දෙයකි.</verse>
				<verse number="24">කපුටන් ගැන සිතා බලන්න. උන් වපුරන්නේවත්, කපා ගන්නේවත් නැත. උන්ට ගබඩා නැත; අටු-කොටු නැත. එහෙත් දෙවියන්වහන්සේ උන් පෝෂ්‍ය කරන සේක. පක්ෂීන්ට වඩා ඔබ කොතරම් වටිනවා ද!</verse>
				<verse number="25">කනස්සලු වීමෙන්, ඔබේ ආයු කාලය එක පැයකින්වත් දිගු කර ගත හැක්කේ ඔබෙන් කවරකුට ද?</verse>
				<verse number="26">එතරම් සුළු දෙයක් වුවත් ඔබට කර ගත නො හැකි නම්, අනිකුත් දෑ ගැන කනස්සලු වන්නේ මන්ද?</verse>
				<verse number="27">“මානෙල් වැඩෙනා හැටි සිතා බලන්න. ඒවා වෙහෙසෙන්නේවත්, නූල් කටින්නේවත් නැත. එහෙත් මා ඔබට කියන්නම්; සලමොන් පවා ඔහුගේ රාජශ්‍රීයෙන් පැලඳ සිටියදීත් මේ මලක් සේ සැරසී සිටියේ නැත.</verse>
				<verse number="28">අහෝ ඇදහිලි මද තැනැත්තෙනි, අද තිබී, හෙට ගින්නෙහි ලන තෘණ ඒ සා සරසවන දෙවියන්වහන්සේ, ඊට වඩා කොපමණ ඉහළින් ඔබ සරසවන සේක් ද?</verse>
				<verse number="29">එබැවින් කන්නේ මොනවා ද බොන්නේ මොනවාදැයි නො සොයන්න; ඒ ගැන කනස්සලු නො වන්න.</verse>
				<verse number="30">මන්ද ලොව අන්‍ය-ජාතීහු මේ දෑ හඹා යති. ඒවා ඔබට උවමනා වග ඔබගේ පියාණන්වහන්සේ දන්නා සේක.</verse>
				<verse number="31">එනමුත් උන්වහන්සේගේ රාජ්‍යයම සොයන්න. එවිට මේ දේවල් ද ඔබට දෙනු ලැබේ.</verse>
				<verse number="32">“කුඩා රැළ, බය නො වන්න. මන්ද රාජ්‍යය ඔබට දීම, ඔබගේ පියාණන්වහන්සේගේ කැමැත්තයි.</verse>
				<verse number="33">ඔබ සන්තක දේ විකුණා දිළිඳුන්ට දෙන්න. දිරන්නේ නැති පසුම්බි හා පිරිහෙන්නේ නැති ස්වර්ගීය සම්පත් සපයා ගන්න. එහිදී සොරෙක් ඊට ළං වන්නේ නැත; කාවෝ ඒවා කා දමන්නේ නැත.</verse>
				<verse number="34">මන්ද ඔබේ සම්පත් කොතැන ද ඔබේ සිතත් එතැනම ය.</verse>
				<verse number="35">“ඉඟටි බැඳ සූදානමින් සිටින්න. ඔබගේ පහන් දල්වා තබන්න.</verse>
				<verse number="36">විවාහ උත්සවයෙන් පසු, තම ස්වාමියා පෙරළා අවුත්, දොරට තට්ටු කළ සැණෙන් දොර අරින්නට බලා සිටින මිනිසුන් සේ සිටින්න.</verse>
				<verse number="37">ස්වාමියා එන කල, තම සේවකයින් අවදිව සිටිනු ඔහු දකින්නේ නම්, ඒ සේවකයින් භාග්‍යවත් ය. සැබවින් ම මා ඔබට කියන්නම්; එතුමා සේවා ඇඳුම් හැඳ, කෑමට ඔවුන් හිඳුවා ඔවුන්ට ආවතේව කරනු ඇත.</verse>
				<verse number="38">ස්වාමියා දෙවන යාමයේ හෝ තුන්වැන්නේ අවුත්, ඔවුන් එලෙස සිටිනු දකින්නේ නම්, ඒ සේවකයින් භාග්‍යවත් ය.</verse>
				<verse number="39">එහෙත් සිහි තබාගන්න. සොරා එන්නේ කවර පැයේදැයි ගෘහ මූලිකයා දැන සිටියේ නම්, තම ගේ බිඳීමට ඔහු ඉඩ තබන්නේ නැත.</verse>
				<verse number="40">එබැවින් ඔබත් සූදානමින් සිටිය යුතුයි. මන්ද එතැයි ඔබ නො සිතන පැයක දී මනුෂ්‍ය පුත්‍රයාණන් පැමිණෙනු ඇතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="41">එවිට පේතෘස් කතා කරමින්, “ස්වාමිනි, ඔබ මේ උපමාව කියන්නේ අපට ද, නැතිනම් හැමෝටම දැ?” යි ඇසී ය.</verse>
				<verse number="42">ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “තම ගෘහවාසී සේවකයින්ට නිසි වෙලාවට ආහාර දීමට, ස්වාමියා විසින් පත් කරනු ලබන විශ්වාසී, සිහි නුවණැති කළමනාකරු කවුරු ද?</verse>
				<verse number="43">ස්වාමියා ආපසු එන කල ඒ සේවකයා එසේ කරනවා දකින්නේ නම්, ඔහු භාග්‍යවත් ය.</verse>
				<verse number="44">සැබවින් ම මා ඔබට කියන්නේ, එතුමා තමන් සන්තක සියල්ලෙහි බාරකාරත්වයට ඔහු පත් කරනු ඇති බවයි.</verse>
				<verse number="45">එහෙත් ඒ සේවකයා, ‘මාගේ ස්වාමියා ඒමට පමා වේවි’ යි තමාටම කියා ගනිමින්, සෙසු සේවක සේවිකාවන්ට පහර දීමටත්, කමින්-බොමින් මත් වීමටත් පටන් ගතහොත්,</verse>
				<verse number="46">එතැයි ඔහු අපේක්ෂා නො කළ දවසක, ඔහු නො දන්නා පැයෙක ඔහුගේ ස්වාමියා පැමිණ, ඒ සේවකයාට දරුණු ලෙස දඬුවම් කර, දෙකට කපා, ඔහු අවිශ්වාසවූවන් අතරට ඇද දමනු ඇත.</verse>
				<verse number="47">“තම ස්වාමියාගේ කැමැත්ත දැන, ඒ අනුව සූදානම් නො වූ, ස්වාමියාගේ කැමැත්ත ලෙස කටයුතු නො කළ එම සේවකයා දැඩිව පහර කනු ඇත.</verse>
				<verse number="48">එනමුත් නො දැන, එහෙත් පහර දෙනු ලැබීමට පාත්‍රවන දේ කරන්නා පහර ලබන්නේ සුළු වශයෙනි. යමකුට බොහෝ සේ දෙන ලද්දේ ද, ඔහුගෙන් වැඩියෙන් අය කරනු ලැබේ. එසේම යමකුට බොහෝ දේ භාර දෙන ලද්දේ ද, ඔහුගෙන් වැඩියෙන් ඉල්ලනු ලැබේ.</verse>
				<verse number="49">“මා ආවේ පොළොව මත ගිනි අවුළුවන්නට ය. දැනටමත් එය ඇවිළ තිබේ නම් මා කොපමණ කැමති ද!</verse>
				<verse number="50">එහෙත් එක්තරා බව්තීස්මයකින් මට බව්තීස්ම ලබන්නට තිබේ. එය ඉටු වන තුරු මට ඇත්තේ කොතරම් සංවේගයක් ද!</verse>
				<verse number="51">පොළොවේ සාමය සලසන්නට මා ආවා යයි ඔබ සිතනවා ද? එසේ නො වෙයි; මම ඔබට කියන්නම්; මා ආවේ භේද ඇති කරන්නයි.</verse>
				<verse number="52">මන්ද මෙතැන් පටන් එක පවුලේ පස් දෙනකු අතරේ දෙදෙනකුට එරෙහිව තිදෙනකු ද තිදෙනකුට එරෙහිව දෙදෙනකු ද භේද කරනු ලැබේ.</verse>
				<verse number="53">පුතාට එරෙහිව පියාත්, පියාට එරෙහිව පුතාත්, දුවට එරෙහිව මවත්, මවට එරෙහිව දුවත්, ලේලියට එරෙහිව නැන්දණියත්, නැන්දණියට එරෙහිව ලේලියත් යන වශයෙන් ඔවුහු භේද කරනු ලබති” යි පැවසූ සේක.</verse>
				<verse number="54">සමූහයා ඇමතූ උන්වහන්සේ, “බස්නාහිරින් වලාකුළක් නැගෙනු දකින විගස ‘වැස්සක් එතැ’ යි ඔබ කියයි. ඒ එසේ සිදු වෙයි.</verse>
				<verse number="55">දකුණු දිගින් සුළං හමන විට ‘පෑවිල්ලක් එතැ’ යි ඔබ කියයි. ඒ එසේ සිදු වෙයි.</verse>
				<verse number="56">එම්බා වංචනිකයිනි, පොළොවේත්, අහසේ පෙනුම ගැන අරුත් දක්වන්නට දන්නා ඔබට එසේ නම්, මේ වත්මන් කාලය ගැන අරුත් නො දක්වන්නේ ඇයි?</verse>
				<verse number="57">“හරි දේ කුමක්දැයි ඔබම තීන්දු නො කරන්නේ ඇයි?</verse>
				<verse number="58">ඔබේ එදිරිවාදියා සමඟ උසාවියට යන අතර, කාරණය සමථයට පත් කර ගන්නට උත්සාහ දරන්න. නැතහොත්, ඔහු නඩුකාරයා ඉදිරියට ඔබ පමුණුවනු ලබනු ඇත; නඩුකාරයා නීතියේ නිලධාරීන්ට ඔබ බාර දෙනු ඇත; ඔවුන් ඔබ සිරගෙයි දමනු ඇත.</verse>
				<verse number="59">මා ඔබට කියන්නේ, අන්තිම සතය දක්වා ඔබේ දඩය ගෙවා දමන තුරු ඔබ ඉන් පිටතට නො එනු ඇත කියා යැ” යි පැවසූ සේක.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">ඒ අවස්ථාවේදීම එහි පැමිණි කීප දෙනෙක්, පිලාත් විසින් ගලීලවාසීන් ඇතමකුගේ ලේ, ඔවුන්ගේ යාග සමඟ මිශ්‍ර කරන ලද පුවත උන්වහන්සේට සැල කළහ.</verse>
				<verse number="2">යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඒ දෑ වින්ද බැවින්, මෙම ගලීලයින් අනෙක් ගලීලයින් හැමට වඩා පව්කරුවන්යැයි ඔබ සිතනවා ද?</verse>
				<verse number="3">නෑ, එසේ නො වේ; මා ඔබට කියන්නේ, පසුතැවිලි නො වූවොත් ඔබ හැමත් එලෙස විනාශ වනු ඇත කියායි.</verse>
				<verse number="4">සිලෝවම්හි කොටුව කඩා වැටීමෙන්, යටවී මළ දහඅට දෙනා යෙරුසලමේ වෙසෙන හැමට වඩා වරදකරුවන්යැයි ඔබ සිතනවා ද?</verse>
				<verse number="5">නෑ, එසේ නො වේ; මා ඔබට කියන්නේ, පසුතැවිලි නො වූවොත් ඔබ හැමත් එලෙස විනාශ වන බව යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="6">තවද උන්වහන්සේ මෙම උපමා කතාව පැවසූ සේක: “එක් මිනිසකුගේ මිදි වත්තේ පැළ කරන ලද අත්තික්කා ගහක් විය. ඔහු එහි පල බලාපොරොත්තුව ගිය නමුදු, කිසිවක් සම්භ නො වීය.</verse>
				<verse number="7">එබැවින් ඔහු මිදි වතු පාලකට කතා කර, ‘බලන්න, දැන් තුන් වසරක්ම මේ අත්තික්කා ගහේ ගෙඩි සොයා ආවත්, කිසිවක් ලැබුණේ නැහැ. මෙය කපා දමන්න; මෙය තවත් පොළොවට බරක්ව තිබෙන්නේ කුමට දැ?’ යි කීවේ ය.</verse>
				<verse number="8">“ඔහු පිළිතුරු දෙමින්, ‘මහත්මයා, තව එක් වසරක් මෙසේ තිබුණා වේ. මම ගහ වටේට හාරා පොහොර දමන්නම්.</verse>
				<verse number="9">එන වසරේ පල හට ගත්තොත් හොඳයි; නැතිනම් කපා දමන්න පුළුවනැ’ යි කීවේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="10">එක් සබත් දිනෙක, උන්වහන්සේ සිනගෝගයක උගන්වමින් සිටි සේක.</verse>
				<verse number="11">අවුරුදු දහඅටක් ආබාධිත ආත්මයක බලපෑමට හසු වූ ස්ත්‍රියක් ද එහි වූවා ය. කුදු ගැසුණු ඇයට කිසි සේත් කෙළින් විය නො හැකි විය.</verse>
				<verse number="12">යේසුස්වහන්සේ ඇය දැක, ඉදිරියට කැඳවා, “ස්ත්‍රිය, ඔබේ ආබාධයෙන් ඔබ මිදුණා” යි පවසා,</verse>
				<verse number="13">ඇය මත අත් තැබූ සේක. එකෙණෙහිම ඈ කෙළින් වී, සිටගෙන, දෙවියන්වහන්සේට ප්‍රශංසා කළා ය.</verse>
				<verse number="14">යේසුස්වහන්සේ ඇය සුව කළේ සබතක බැවින්, කුපිත වූ සිනගෝග අධිපතියා පිරිස අමතා, “වැඩ කිරීමට දවස් හයක් තිබෙයි. සබත් දවසේ නො ව, ඒ දවසක ඇවිත් සුව කරවා ගනිල්ලා” යි කීවේ ය.</verse>
				<verse number="15">එවිට ස්වාමින්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “එම්බා වංචනිකයිනි, ඔබ හැම කෙනකුම සබත් දවසේ තම ගවයා හෝ තම බූරුවා ගාලෙන් මුදා, වතුර දෙන්නට ගෙන යන්නේ නැද්ද?</verse>
				<verse number="16">එසේ නම් ආබ්‍රහම්ගේ දියණියක වන මැය, සාතන් විසින් දහඅට වසරක් බැඳ තබන ලද ඒ බන්ධනයෙන් සබත් දවසක මුදා හැරීම යුතු නැද්දැ?” යි පැවසූ සේක.</verse>
				<verse number="17">ඒ කතාවට උන්වහන්සේගේ එදිරිවාදි සියල්ලෝ ලජ්ජාවට පත් වූහ. එහෙත් පොදු ජනයා, උන්වහන්සේ විසින් කරන ලද මහිමාන්විත දෑ ගැන මහත් සතුටට පත් වූහ.</verse>
				<verse number="18">එබැවින් උන්වහන්සේ කතා කරමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යය කුමකට සමාන ද? මම එය කුමකට උපමා කරම් ද?</verse>
				<verse number="19">මිනිසකු විසින් තම ගෙවත්තේ දමන ලද අබ ඇටයකට එය සමාන ය. එය පැළවී, වැඩී, ගසක් බවට පත් වුණි. අහස් කුරුල්ලෝ එහි අතුවල කැදලි තනා ගත්හ” යි පැවසූ සේක.</verse>
				<verse number="20">උන්වහන්සේ යළි කතා කරමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යය මම කුමකට උපමා කරම් ද?</verse>
				<verse number="21">නැළි තුනක පිටි මුළුමනින් පිපෙන, ස්ත්‍රියක විසින් ඊට මුසු කරන ලද මුහුන්වලට සමාන යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="22">උන්වහන්සේ යෙරුසලම බලා යන අතරේ නගර හා ගම් ඔස්සේ උගන්වමින් ගමන් ගත් සේක.</verse>
				<verse number="23">කෙනෙක් උන්වහන්සේ අමතා, “ස්වාමිනි, ගැලවීම ලබන්නේ ස්වල්ප දෙනකු පමණක් දැ?” යි ඇසුවේ ය. උන්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්,</verse>
				<verse number="24">“පටු දොරෙන් ම ඇතුළු වන්නට වෙර දරන්න. මන්ද මා ඔබට කියන්නේ, බොහෝ දෙනකු ඇතුල් වන්නට සොයන නමුත් නො හැකි වනු ඇත කියායි.</verse>
				<verse number="25">ගෙදර ස්වාමියා නැගිට, දොර වැසූ පසු, ඔබ පිටත සිට දොරට තට්ටු කරමින්, ‘ස්වාමිනි, අපට දොර අරින්නැ’ යි කියනු ඇත. “එවිට එතුමා පිළිතුරු දෙමින්, ‘ඔබ කොහේ සිට ආවා ද කියා මා දන්නේ නැතැ’ යි කියනු ඇත.</verse>
				<verse number="26">“එකල ඔබ පිළිතුරු දෙමින්, ‘අපි ඔබ සමඟ කෑවෙමු; බීවෙමු; ඔබතුමා අපේ වීදිවල ඉගැන්වූහ’ යි කියනු ඇත.</verse>
				<verse number="27">“එහෙත්, එතුමන් පිළිතුරු දෙමින්, ‘මා ඔබට කියන්නේ, නුඹලා කොහි සිට ආවාදැයි මා දන්නේ නෑ. අධර්මිෂ්ඨකම් කරන සියල්ලෙනි, මා වෙතින් බැහැරව යනු’ කියා කියනු ඇත.</verse>
				<verse number="28">“ආබ්‍රහම් ද ඊසාක් ද යාකොබ් ද දිවැසිවරුන් හැමදෙනා ද දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ සිටිනුත්, ඔබ ඉන් පිටත දමනු ලැබ සිටිනුත්, ඔබ දකින කල එතැන වැලපීමත්, දත්මිටි කෑමත් වන්නේ ය.</verse>
				<verse number="29">නැගෙනහිරින් හා බස්නාහිරින් ද උතුරින් හා දකුණින් ද ජනයා පැමිණ, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ මංගල්‍ය භෝජනයට අසුන් ගනු ඇත.</verse>
				<verse number="30">සැබවින් ම, දැන් අන්තිමයින් වන ඇතමෙක් ප්‍රථමයින් ද දැන් ප්‍රථමයින් වන ඇතමෙක් අන්තිමයින් ද වනු ඇතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="31">ඒ පැයේදීම උන්වහන්සේ වෙත පැමිණි පරිසිවරුන්ගෙන් ඇතමෙක්, “මෙතැනින් ඉවත්ව යන්න; මන්ද හෙරෝද්ට ඔබ මරන්නට ඕනෑ වී ඇතැ” යි කීහ.</verse>
				<verse number="32">යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ගොසින් ඒ හිවලාට කියන්න, මා අදත්, හෙටත් යක්ෂාත්ම දුරු කර, සුව කිරීම් ඉටුකර, තුන් වන දවසේ මගේ අරමුණ වෙත ළඟා වන බව.</verse>
				<verse number="33">කෙසේ වුවත් අදත්, හෙටත්, අනිද්දාත් මා මාගේ මාර්ගයේ යා යුතුයි. මන්ද දිවැසිවරයකු යෙරුසලමෙන් පිටත විනාශ වන්නේ නැත.</verse>
				<verse number="34">“අහෝ! යෙරුසලම, යෙරුසලම, දිවැසිවරුන් මරා දමන්නා වූ, නුඹ වෙත එවනු ලැබූවන්ට ගල් ගසන නුඹ, කිකිළියක ඇගේ පැටවුන් ඇගේ පියාපත් යටට එකතු කරගන්නා සේ නුඹේ දරු කැල එකතු කරන්නට මම කී වරක් නම් ආශා වූවෙම් ද? එහෙත් ඔබ කැමති වුණේ නැත.</verse>
				<verse number="35">මෙන්න! ඔබේ නිවාසය අත්හැර දමා තිබේ. මා ඔබට කියන්නේ, ‘ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාණන් ආශිර්වාදිත ය!’ කියා ඔබ කියන තුරු, යළි ඔබ මා දකින්නේ නැත කියා යැ” යි පැවසූ සේක.</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">තවත් සබත් දිනෙක උන්වහන්සේ නායක පරිසිවරයකුගේ නිවසේ කෑමට ගිය කල, ඔවුහු උන්වහන්සේ ගැන විමසිල්ලෙන් වුන්හ.</verse>
				<verse number="2">උන්වහන්සේ ඉදිරියේ දියඋදර රෝගියෙක් සිටියේ ය.</verse>
				<verse number="3">එහි වූ පරිසිවරුන් හා දහම් පඬිවරුන් ඇමතූ යේසුස්වහන්සේ, “සබතේදී සුව කිරීම යුක්ති සහගත ද? නැද්දැ?” යි ඇසූ සේක.</verse>
				<verse number="4">එහෙත් ඔවුහු නිහඬව සිටියහ. එබැවින් උන්වහන්සේ ඒ මිනිසා අතින් අල්ලා, ඔහු සුව කර, එතැනින් පිටත් කර යැවූ සේක.</verse>
				<verse number="5">පසුව යළි ඔවුන් ඇමතූ උන්වහන්සේ, “ඔබේ පුතකු හෝ ගවයකු හෝ සබතකදී ළිඳක වැටුණොත්, වහාම ගොඩට නො ගන්නේ ඔබගෙන් කවුරු දැ?” යි ඇසූ සේක.</verse>
				<verse number="6">ඊට උත්තර දෙන්නට ඔවුන්ට නො හැකි විය.</verse>
				<verse number="7">ඇරියුම් ලද්දෝ පැමිණ ගරු ආසන තෝරා ගන්නා හැටි දුටු උන්වහන්සේ, ඔවුනට මෙම උපමා කතාව පැවසූ සේක.</verse>
				<verse number="8">“මංගල සාදයකට ඔබට ඇරියුම් ලැබුණු කල, මුල් ආසනයකට නො යන්න. මන්ද ඔබට වඩා උසස් කෙනකු ද ඇරියුම් ලබා සිටින්නට පුළුවන.</verse>
				<verse number="9">ඔබ දෙපොළටම ඇරියුම් කළ තැනැත්තා පැමිණ, ‘ඔය ආසනය මොහුට දෙන්නැ’ යි කීවොත්, අවමානයෙන් යුතුව පහළ අසුනකට යෑමට ඔබට සිදු වෙයි.</verse>
				<verse number="10">එනිසා යමෙක් ඔබ කැඳවූ කල, පහළ අසුනක හිඳගන්න. එවිට ඔබ කැඳවූ තැනැත්තා අවුත්, ‘එන්න සබඳ, මේ මුල් පෙළට එන්නැ’ යි කීවොත් ඔබ සමඟ සිටින සියලු අමුත්තන් ඉදිරියේ ඔබට ගෞරව ලැබෙයි.</verse>
				<verse number="11">මන්ද තමාම උසස් කරගන්නා හැම කෙනෙක්ම පහත් කරනු ලැබේ. තමාම පහත් කරගන්නා තැනැත්තා උසස් කරනු ලැබේ” යි කී සේක.</verse>
				<verse number="12">ඉන්පසු යේසුස්වහන්සේ තමන්ට ඇරියුම් කළ තැනැත්තාට කතා කොට, “ඔබ භෝජන සංග්‍රහයක් දහවල හෝ රාත්‍රියේ පවත්වන කල, ඔබේ මිතුරන්, සහෝදරයින්, ඔබේ නෑයින් හෝ ධනවත් අසල්වාසීන් නො කැඳවන්න. ඔබ එසේ කළහොත් ඔවුන් ද පෙරළා ඔබට ඇරියුම් කරනු ඇත. එවිට ඔබේ ක්‍රියාවනට ප්‍රතිවිපාක ලැබේ.</verse>
				<verse number="13">එබැවින් ඔබ භෝජන සංග්‍රහයක් පවත්වන කල දුප්පතුන්ට, අබ්බගාතයින්ට, කොරුන්ට හා අන්ධයින්ට ඇරියුම් කරන්න.</verse>
				<verse number="14">පෙරළා ඔබට සංග්‍රහ කරන්නට ඔවුන්ට නො හැකි බැවින්, ඔබ භාග්‍යවන්තයි. ධර්මිෂ්ඨයින්ගේ නැවත නැගිටීමේදී ඔබට ඊට ප්‍රතිඵල ලැබෙනු ඇතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="15">උන්වහන්සේ සමඟ මේසයට වාඩි වී සිටි කෙනෙක් ඒ අසා, “දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රොටි වළඳන තැනැත්තා ආශිර්වාද ලද්දෙකැ” යි උන්වහන්සේට කීවේ ය.</verse>
				<verse number="16">යේසුස්වහන්සේ කතා කරමින්, “එක් මිනිහෙක් මහ ජයට භෝජන සංග්‍රහයක් පිළියෙල කර, බොහෝ දෙනකුට ඇරියුම් කළා.</verse>
				<verse number="17">භෝජන වේලාව ළං වූ කල, ඇරියුම් ලද්දවුන් වෙත සිය සේවකයා පිටත් කළ ඔහු, ‘එන්න, දැන් සියල්ල ලැහැස්තියි’ කියා යැව්වා.</verse>
				<verse number="18">“එහෙත් ඔවුහු සැවොම නෑවිත් සිටීමට හේතු දක්වන්නට වුණා. පළමු වැන්නා කරුණු දක්වමින්, ‘මා මේ ඉඩම් කැබැල්ලක් ගත්තා විතරයි; එය බලන්නට යා යුතුව තියෙනවා. එන්නට නො හැකිවීම ගැන හරි කණගාටුයි’ කීවා.</verse>
				<verse number="19">“තව කෙනෙක්, ‘මා ගොන් බාන් පහක් ගෙනාවා. උන් හොඳින් වැඩ කරත්දැයි බලන්නටයි මේ ලැහැස්තිය. අනේ බොහොම කණගාටුයි අද එන්න බැරි යැ’ යි කීවා.</verse>
				<verse number="20">“තවත් කෙනෙක්, ‘මා භාර්යාවක් ආවාහ කර ගත්තා විතරයි; එනිසා එන්නට බැහැ’ යි කීවා.</verse>
				<verse number="21">“සේවකයා ආපසු ගොස්, තම හාම්පුතුට එපවත් දැන්වූවා. ඉන් කෝප වූ ගෘහපතියා, ‘නගරයේ වීදිවලටත්, අතුරු පාරවලටත් වහාම ගොස්, දිළින්දන්, අබ්බගාතයින්, අන්ධයින් හා කොරුන් කැඳවාගෙන එනු’ යි තම සේවකයාට කීවා.</verse>
				<verse number="22">“ඒ නියෝගය ඉටු කළ සේවකයා, ‘ස්වාමිනි ඔබ අණ කළ ලෙස කළා. එනමුත් තවත් ඉඩ තිබේ යැ’ යි කීවා.</verse>
				<verse number="23">“එවිට හාම්පුතා, ‘මහ මාවත් දිගේත්, දෙවට පාර දිගේත් ගොස්, මගේ නිවස පිරෙන්නට මිනිසුන් කැඳවාගෙන එන්නැයි සේවකයාට කීවා.</verse>
				<verse number="24">මා ඔබට කියන්නේ, ඇරියුම් ලද්දවුන්ගෙන් කිසිවකු මගේ සංග්‍රහයේ රස නො විඳිනා බව යැ’ ” යි පැවසූ සේක.</verse>
				<verse number="25">යේසුස්වහන්සේ සමඟ මහත් ජනකායක් ගමන් ගත්හ. ඔවුන් දෙස හැරුණු උන්වහන්සේ,</verse>
				<verse number="26">“මා වෙත එන කවරකු වුවත් තම පියාට හෝ මවට හෝ තම භාර්යාවට හෝ දරුවන්ට හෝ සහෝදර සහෝදරියන්ට හෝ වෙනකක් තබා තමාගේම ජීවිතයට ද්වේෂ නො කරන්නේ නම්, ඔහුට මාගේ ගෝලයකු වන්නට බැරි ය.</verse>
				<verse number="27">තමාගේ කුරුසිය දරාගෙන, මා අනුව නො එන කිසිවකුට මගේ ගෝලයකු වන්නට බැරි ය.</verse>
				<verse number="28">“ඔබෙන් යමෙක්, කුලුනක් ගොඩ නගන්නට අදහස් කරන්නේ නම්, පළමු කොට පසෙකට වී හිඳ, වැඩය නිම කර ගැනීමට ඇති තරම් වේදැයි ගණන් නො බලා සිටින්නේ කවුරු ද?</verse>
				<verse number="29">එසේ නො කර, අත්තිවාරම දමා, එය තනා නිම කරන්නට නො හැකි වුවහොත්, එය දකින සැවොම ඔහුට අවමන් කරමින්,</verse>
				<verse number="30">‘මේ මිනිහා ගොඩ නගන්නට පටන් ගත්තා. ඒත් වැඩේ නිම කරගන්න බැහැ’ යි කියනු ඇත.</verse>
				<verse number="31">“වෙනත් රජකුට එරෙහිව යුද සූදානමක් ඇති කල, පළමු කොට පසෙකට වී හිඳ, විසිදහසක සතුරු හමුදාවට මුහුණ දීමට, දසදහසක තම හමුදාවට හැකිවේදැයි විමසා නො බලන්නේ කවර රජු ද?</verse>
				<verse number="32">තමන් ඊට අසමත් නම්, සතුරු රජ දුර සිටියදීම, රාජ දූතයින් පිටත් කර, සාම ගිවිසුමක් ඉල්ලනු ඇත.</verse>
				<verse number="33">එසේම, තමන් සතු සියලු දේ අත්හරින්නේ නැති කවරකුටවත් මගේ ගෝලයකු වන්නට බැරි ය.</verse>
				<verse number="34">“ලුණු වැඩදායක ය. එහෙත් ලුණෙහි ලුණු රසය නැති වුවහොත්, යළි එය ලුණු රස ගැන්විය හැක්කේ කෙසේ ද?</verse>
				<verse number="35">පසටවත්, පොහොරටවත් එයින් ඇති වැඩක් නැත. ඒවා ඉවත හෙළා දැමේ. “කන් ඇත්තා අසත්වා!” යි කී සේක.</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">තවද බදු අය කරන්නන් හා පව්කරුවන් යන හැම උන්වහන්සේට සවන් දෙන්නට උන්වහන්සේ වටා රොක්වන්නට වූහ.</verse>
				<verse number="2">එවිට පරිසිවරු හා දහම් පඬිවරු, “මොහු පව්කාරයින් පිළිගෙන, ඔවුන් සමඟ කෑමත් කනවා” යි මැසිවිලි කීහ.</verse>
				<verse number="3">එබැවින් උන්වහන්සේ ඔවුන්ට මෙම උපමා කතාව කී සේක:</verse>
				<verse number="4">“බැටළුවන් සියයක් සිටියදී, ඉන් එකකු නැති වුවහොත්, ඉතිරි අනූනව දෙනා එළිමහනේ හැර, නැති වූ එකා හමුවන තෙක් ඌ සොයා නො යන්නේ ඔබ අතරින් කවර මිනිහා ද?</verse>
				<verse number="5">ඉදින් ඌ හමු වූ විට, ඔහු ප්‍රීතියෙන් ඉපිල, ඌ කර තබා,</verse>
				<verse number="6">ගෙදර ගෙනවුත්, මිතුරන් හා අසල්වාසීන් කැඳවා, ‘මා හා ප්‍රීතිවන්න; මන්ද නැති වූ මගේ බැටළුවා සම්භ වුණා’ යි කියයි.</verse>
				<verse number="7">එපරිදි, පසුතැවිල්ල ඕනෑ නැති ධර්මිෂ්ඨයින් අනූනව දෙනකුට වඩා, පසුතැවිලි වන එක පව්කරුවකු ගැන ස්වර්ගයෙහි ප්‍රීතිය ඇති වන බව මම ඔබට කියමි.</verse>
				<verse number="8">“නොහොත්, රිදී කාසි දහයක් ඇතිව සිටියදී ඉන් එකක් නැති වුවහොත්, පහනක් දල්වා, ගෙය අතුගා, එය හමුවන තුරු හැම අස්සක, මුල්ලක එය නො සොයා ඉන්නේ කවර ස්ත්‍රිය ද?</verse>
				<verse number="9">එය හමු වූ කල, ඕ ඇගේ මිතුරන් හා අසල්වාසීන් කැඳවා, ‘මා හා ප්‍රීතිවන්න; නැති වූ මගේ කාසිය සම්භ වුණා’ යි කියයි.</verse>
				<verse number="10">එපරිදිම, පසුතැවිලි වන එක පව්කරුවකු ගැන, දේව දූතයින් ඉදිරියේ ප්‍රීතියක් ඇති වග මම ඔබට කියමි” යි පැවසූ සේක.</verse>
				<verse number="11">උන්වහන්සේ තවදුරටත් කතා කරමින්, “එක් මිනිසකුට පුතුන් දෙදෙනෙක් සිටියා.</verse>
				<verse number="12">ඔවුන්ගෙන් බාලයා තම පියා අමතා, ‘පියාණෙනි, ඔබගේ දේපළවලින් මට හිමි කොටස මට පවරා දෙන්නැ’ යි ඉල්ලා සිටියා. එවිට පියා ඔවුන් අතර තම දේපළ බෙදා දුන්නා.</verse>
				<verse number="13">“නොබෝ දිනකින් බාල පුත්‍රයා, තමන් සතු සියල්ල එකතු කරගෙන, ඈත එපිට රටකට ගොස්, දුසිරිතෙහි ගැලෙමින්, තම ධනය නැති නාස්ති කර ගත්තා.</verse>
				<verse number="14">ඔහු තමන් සන්තක සියල්ල වියදම් කළ පසු, ඒ රට මුළුල්ලේ දැඩි සාගතයක් ඇති වුණා. ඔහුට ද අග හිඟ දැනෙන්නට වුණා.</verse>
				<verse number="15">එබැවින් ඔහු එරට පුරවැසියකු ළඟ සේවකයකු ලෙස බැඳුණා. ඔහුගේ ගොවිපළේ ඌරන්ට කවන්නට ඔහු යවනු ලැබුවා.</verse>
				<verse number="16">ඌරන් කන කරල්වලින් තම කුස පුරවාගන්නට ඔහු කැමති වුණා; කිසිවකු ඔහුට කිසිවක්ම දුන්නේ නෑ.</verse>
				<verse number="17">“ඔහු හරි සිහි කල්පනාවට පැමිණ, ‘මගේ පියාගේ කුලී වැඩකරුවන් එපමණ දෙනකුට ඕනෑවටත් වඩා ආහාර තියෙද්දී, මා මෙහෙ හාමතේ නැහෙනවා.</verse>
				<verse number="18">මා නැගිට, මගේ පියාණන් වෙත ගොස්, පියාණෙනි, ස්වර්ගයට විරුද්ධව හා ඔබ ඉදිරියේ මා පව් කර තියෙනවා.</verse>
				<verse number="19">තවදුරටත් ඔබගේ පුත්‍රයා ය කියන්නට තරම් මා වටින්නේ නෑ; ඔබගේ කුලී වැඩකාරයකු ලෙස මා ගණන් ගන්නැයි ඔහුට කියනවායි කියා ගත්තා.’</verse>
				<verse number="20">එපරිදි ඔහු නැගිට, පියා වෙත පිටත් වුණා. “ඔහු ආපසු එනු දුර තියාම දුටු ඔහුගේ පියා, අනුකම්පාවෙන් යුතුව ඔහු වෙත දුව ගොස්, ඔහු වැලඳ, සිප ගත්තා.</verse>
				<verse number="21">“එවිට පුත්‍රයා කතා කරමින්, ‘පියාණෙනි, මා ස්වර්ගයට විරුද්ධව හා ඔබ ඉදිරියේ පව් කළා. තවදුරටත් ඔබේ පුත්‍රයා යැයි කියන්න මා වටින්නේ නෑ’ යි කීවා.</verse>
				<verse number="22">“එහෙත් පියා තම සේවකයින්ට කතා කොට, ‘ඉක්මන් කර හොඳම කබාය ගෙනැවිත්, මොහුට හඳවන්න. මුදුවක් මොහුගේ ඇඟිල්ලේ දමන්න. පාවහන් දෙපයට දමන්න.</verse>
				<verse number="23">පුෂ්ටිමත් හරකා ගෙනැවිත්, මරා, රස බොජුන් පිළියෙල කරන්න. අපි කාලා ප්‍රීති වෙමු.</verse>
				<verse number="24">මන්ද මාගේ මේ පුත්‍රයා මැරී, යළි ජීවත්ව සිටී; ඔහු නැති වී, යළි සම්භ වුණා’ යි කීවා. මෙසේ ඔවුහු ප්‍රීති වන්නට වුණා.</verse>
				<verse number="25">“මේ අතර කෙතේ සිටි ඔහුගේ වැඩිමහල් පුත්‍රයා ආපසු එමින් නිවසට ළං වෙද්දී, නැටුම් හා සංගීත නාදය අසන්නට ලැබුණා.</verse>
				<verse number="26">ඔහු සේවකයකුට අඬගසා, සිදුවන්නේ කුමක්දැයි ඇසුවා.</verse>
				<verse number="27">ඔහු පිළිතුරු දෙමින්, ‘ඔබේ සහෝදරයා ඇවිදින්; ඔබේ පියා පුෂ්ටිමත් වස්සා මැරුවා. එසේ කළේ ඔහු සුරැකිව, සුව සේ යළි හමු වූ බැවිනැ’ යි කීවා.</verse>
				<verse number="28">“එහෙත් ඔහු කෝපව, ගෙට ඇතුළු වීම ප්‍රතික්ෂේප කළා. එබැවින් ඔහුගේ පියා පිටතට අවුත්, ඔහුට ආයාචනා කළා.</verse>
				<verse number="29">එවිට ඔහු පියා අමතමින්, ‘බලන්න! මේ තරම් අවුරුදු ගණනක් මා ඔබට වැඩ කළා. කිසිදාක ඔබේ අණට අකීකරු වුණේ නෑ; එහෙත්, මගේ මිතුරන් හා විනෝද වීමට කිසි දවසක එක එළු පැටවකුවත් ඔබ මට දී නෑ.</verse>
				<verse number="30">එහෙත්, වෛශ්‍යාවන් සමඟ ඔබේ ධනය කා දැමූ ඔබේ මේ පුත්‍රයා ආ කල, ඔබ පුෂ්ටිමත්ම වස්සා ඔහු උදෙසා මැරෙව්වා’ යි කීවා.</verse>
				<verse number="31">“එවිට පියා ඔහු අමතමින්, ‘පුත, නිතරම ඔබ මා සමඟයි. මට ඇති හැම දේත් ඔබගෙයි.</verse>
				<verse number="32">එනමුත් ප්‍රීතිවීම අපට යුතුයි. මන්ද ඔබේ මේ සහෝදරයා මැරී, යළි ජීවත්ව සිටී; ඔහු නැති වී, යළි සම්භ වුණා’ යි කීවා” යි කී සේක.</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">යේසුස්වහන්සේ තම ගෝලයින් අමතමින් මෙසේ පැවසූ සේක: “එක් ධනවතකුට කළමනාකරුවෙක් සිටියා. තම වස්තුව, ඔහු නැති නාස්ති කරතැයි ඔහුට පැමිණිලි ලැබුණා.</verse>
				<verse number="2">එබැවින් ඔහු කැඳවූ හාම්පුතා, ‘ඔබ ගැන මට අහන්න ලැබෙන මේ දේවල් මොනවා ද? ඔබේ කළමනාකාරකම පිළිබඳ ගණන් බේරන්න. තවදුරටත් කළමනාකරු වීමට ඔබට බැරි යැ’ යි කීවා.</verse>
				<verse number="3">“කළමනාකරු තමාටම මෙසේ කියා ගත්තා, ‘මගේ හාම්පුතා කළමනාකාරකමින් මා පහ කරන නිසා, මා දැන් කුමක් කරන්න ද? පොළොව කොටන්නට මට ශක්තිය නෑ. සිඟාකන්නට ලැජ්ජයි.</verse>
				<verse number="4">හරි! කළමනාකාරකමින් මා ඉවත් කළ පසු, මිනිසුන් තමන්ගේ ගෙවලට මා පිළිගන්නා පිණිස, කළ යුතු දේ මා තීරණ කළා.’</verse>
				<verse number="5">“තම ස්වාමියාගේ ණයකරුවන් එකිනෙකා කැඳවූ ඔහු, පළමු වැන්නා අමතා, ‘මගේ හාම්පුතාට ඔබ කොපමණ ණය දැ?’ යි ඇසුවා.</verse>
				<verse number="6">“ ‘ඔලීව තෙල් පීප්ප සියයකැ’ යි ඔහු පිළිතුරු දුන්නේ ය. “ඔහු ඇමතූ කළමනාකරු, ‘ඔබේ බිල්පත ගෙන, හනික මෙහෙන් ඉඳගෙන, එය පනහකැයි ලියා ගන්නැ’ යි කීවා.</verse>
				<verse number="7">“ඉන්පසු අනෙකා අමතා, ‘ඔබ කොපමණ ණය දැ?’ යි ඇසුවා. “ ‘තිරිඟු බුසල් දාහක් යැ’ යි කී කල, “ ‘ඔබේ බිල්පතේ එය අටසීය කර ගන්නැ’ යි ඔහු කීවා.</verse>
				<verse number="8">“වංචනික කළමනාකරු විචක්ෂණව, ශූර ලෙස ක්‍රියා කළ නිසා, හාම්පුතා ඔහුට ප්‍රශංසා කළා. මන්ද මේ ලෝකයේ පුත්‍රයින් තම කටයුතු ගැන ක්‍රියා කරන්නේ, ආලෝකයේ පුත්‍රයින්ට වඩා විචක්ෂණශීලිවයි.</verse>
				<verse number="9">මා ඔබට කියන්නේ ලෞකික ධනයෙන් මිතුරන් සපයා ගන්නා ලෙසයි. ඒ, ඒවා සිඳී ගිය කල සදාතනික වාසස්ථානවලට ඔබ පිළිගැනෙනා පිණිස ය.</verse>
				<verse number="10">“ඉතා ස්වල්පයකදී විශ්වාසවන්තවන්නා, මහත් දේකදී ද විශ්වාසී වෙයි; අල්ප දේහි දී වංචනිකවන්නා, මහත් දේහි දී ද වංචනික වෙයි.</verse>
				<verse number="11">අධර්මිෂ්ඨ වස්තුව ගැන ඔබ විශ්වාසවන්ත වන්නේ නැතිනම්, සත්‍ය ධනය ඔබට බාර දෙන්නේ කවුරු ද?</verse>
				<verse number="12">අන් කෙනකුගේ වස්තුව ගැන ඔබ විශ්වාසවන්ත නො වී නම්, ඔබගේම දෑ ඔබට දෙන්නේ කවුරු ද?</verse>
				<verse number="13">“හාම්පුතුන් දෙදෙනකුට මෙහෙ කිරීමට කිසි සේවකයකුට නුපුළුවන. ඔහු එක් කෙනකුට ද්වේෂ වී, අනෙකාට ප්‍රේම කරනු ඇත. නැතහොත් එක් කෙනකුට ලැදි වී අනෙකා හෙළා දකිනු ඇත. දෙවියන්වහන්සේටත්, මුදලටත් සේවය කිරීමට ඔබට නුපුළුවනැ” යි පැවසූ සේක.</verse>
				<verse number="14">මුදලට ආලය කරන්නන් වූ පරිසිවරු ඒ සියලු දෑ අසා, උන්වහන්සේට සරදම් කළහ.</verse>
				<verse number="15">උන්වහන්සේ ඔවුන් අමතමින්, “මිනිසුන් ඉදිරියේ තමන්ම ධර්මිෂ්ඨ කර ගන්නෝ ඔබයි. එහෙත් දෙවියන්වහන්සේ ඔබේ හදවත් දන්නා සේක. මන්ද මිනිසුන් අතරේ උසස් යයි සලකනු ලබන දේ, දෙවියන්වහන්සේ ඉදිරියේ පිළිකුලක් වෙයි.</verse>
				<verse number="16">“දහම් නීතියත්, දිවැසිවරුනුත් යොහන් දක්වා බලපැවැත්විණි. එතැන් පටන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කෙරේ. සියලු දෙනා බලයෙන් ඊට ඇතුළු වෙති.</verse>
				<verse number="17">එහෙත් දහම් නීතියෙන් එක් අංශු මාත්‍රයක් හෝ අහෝසි වී යෑමට වඩා, අහසත් පොළොවත් පහ වී යෑම පහසු ය.</verse>
				<verse number="18">“තම භාර්යාව අත්හැර, අන් ස්ත්‍රියක ආවාහ කරගන්නා කවරකු වුව, පරදාර සේවනයේ යෙදෙයි. අත්හැර දමන ලද ස්ත්‍රියක ආවාහ කරගන්නා තැනැත්තා ද පරදාර සේවනයේ යෙදෙයි.</verse>
				<verse number="19">“අගනා දම් පැහැ සළු හා සිනිඳු හණ පිළි හැඳ, දිනපතා සුඛ විහරණයෙන් කල් ගෙවූ ධනවතෙක් සිටියා.</verse>
				<verse number="20">ගත පුරාම වණ-දදවලින් ගහන ලාසරස් නම් දුප්පතකු ඔහුගේ දොරටුව ළඟ තබනු ලැබුවා.</verse>
				<verse number="21">ධනවතාගේ මේසයෙන් වැටෙන ඉතිරි කැබලි කෑමට ඔහු ආශා කළා. බල්ලෝ පවා අවුත් ඔහුගේ වණ ලෙව කෑවා.</verse>
				<verse number="22">“දුප්පත් මිනිසා මිය ගිය පසු, දේව දූතයින් විසින් ආබ්‍රහම්ගේ තුරුලට ඔහු ගෙන යනු ලැබුවා. ධනවත් මිනිසා ද මිය ගියෙන්, ඔහු වළලනු ලැබුවා.</verse>
				<verse number="23">ඔහු පාතාලයේ වධ විඳිමින් ඉහළ බැලූ කල, ආබ්‍රහම් ද ඔහුගේ ඇලයෙහි ලාසරස් ද දුර ඈත සිටිනු දැක්කා.</verse>
				<verse number="24">එවිට ඔහු, ‘ආබ්‍රහම් පියාණෙනි, අනේ මට අනුකම්පා කරන්න. මගේ දිව තෙමාගන්නට ලාසරස්ගේ ඇඟිලි තුඩ දියේ ගිල්වා, මා වෙත එවන්න. මම මේ ගිනි ජාලාවේ විඳවනවා’ යි කිව්වා.</verse>
				<verse number="25">“එහෙත් ආබ්‍රහම් පිළිතුරු දෙමින්, ‘දරුව, ඔබේ ජීවිත කාලයේදී ඔබට යහ දෑ ලැබුණා. ලාසරස්ට ලැබුණේ නරක දෑ වග මතක ද? එහෙත් දැන් ඔහු සැනසිල්ල භුක්ති විඳියි; ඔබ විඳවයි</verse>
				<verse number="26">ඒ හැමට වඩා, මෙහි සිට ඔබ වෙත යන්නට කැමති අයට එය කළ නො හැකි වන පිණිස හා ඔහේ සිට අප වෙත කෙනකුට මෙතෙර විය නො හැකි වන පිණිස අපත්, ඔබත් අතර මහා ආගාධයක් පිහිටුවා තියෙනවා’ යි කීවා.</verse>
				<verse number="27">“එවිට, ඔහු කතා කරමින්, ‘එසේ නම් පියාණෙනි, මගේ පියාගේ ගෙදරට ඔහු යවන ලෙස කන්නලව් කරමි.</verse>
				<verse number="28">මන්ද මට සහෝදරයෝ පස් දෙනකු ඉන්නවා. මෙහි වධ විඳින්නට මෙහි නො එන ලෙසට ඔවුන්ට අවවාද කරත්වා’ යි ඉල්ලී ය.</verse>
				<verse number="29">“ආබ්‍රහම් පිළිතුරු දෙමින්, ‘ඔවුන්ට මෝසෙස් හා දිවැසිවරුන් සිටිනවා; ඔවුහු ඔවුන්ට සවන් දෙත්වා’ යි කීවා.</verse>
				<verse number="30">“ඔහු එවිට, ‘එසේ නො වෙයි, ආබ්‍රහම් පියාණෙනි, යමෙක් මළවුන් වෙතින් ඔවුන් වෙත ගියහොත්, ඔවුන් පසුතැවිලි වෙතැ’ යි පැවසුවා.</verse>
				<verse number="31">“ඔහු පිළිතුරු දෙමින්, ‘ඔවුන්, දිවැසිවරුන්ටත් සවන් දෙන්නේ නැතිනම්, යමෙක් මරණින් නැගිට ආවත්, ඔවුන්ට ඒත්තුගැන්විය නො හැකි ය’ කියා කීවා.”</verse>
			</chapter>
			<chapter number="17">
				<verse number="1">යේසුස්වහන්සේ තම ගෝලයින් අමතමින්, “පවට පොලඹවන පරීක්ෂා ඇතිවීම නියතයි. එහෙත් ඒ පෙලඹවීම් ඇති වන්නේ කවරකු මඟින් ද, ඔහුට දුක් වේ;</verse>
				<verse number="2">මේ කුඩාවුන්ගෙන් කෙනකු පාපයට පොලඹවනවාට වඩා ඇඹරුම් ගලක් ගෙල වටා එල්ලා, මුහුදේ හෙළනු ලැබීම ඔහුට වඩා හොඳ ය.</verse>
				<verse number="3">එබැවින් පරෙස්සම් වන්න! “ඔබේ සහෝදරයා පව් කරයි නම්, ඔහුට තරවටු කරන්න. ඔහු පසුතැවිලි වේ නම්, ඔහුට කමා වන්න.</verse>
				<verse number="4">ඔහු දවසකට හත් වාරයක් ඔබට එරෙහිව පව් කොට, හත් වාරයක්ම ඔබ වෙත හැරී, ‘මා පසුතැවිලි වෙනවා’ යි කීවත්, ඔබ ඔහුට කමා විය යුතු යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="5">අපෝස්තුලුවරු ස්වාමින්වහන්සේට කතා කොට, “අපගේ ඇදහිල්ල වැඩි කරන්නැ” යි කීහ.</verse>
				<verse number="6">ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “අබ ඇටයක් තරම ඇබින්දක ඇදහිල්ලක් ඔබට ඇත්නම්, මේ ඇඹිල්ල ගහට කතා කොට, ‘මුලින් ඉදිරී ගොස්, මුහුදේ පැළවෙනු’ යි කියන්නට ඔබට පුළුවන. එවිට එය ඔබට අවනත වෙයි.</verse>
				<verse number="7">“ඔබගෙන් යමකුට සී සානා හෝ බැටළුවන් බලාගන්නා දාසයකු වේ නම්, ඔහු ගොවිපළේ වැඩ කර ආ විටෙක, ‘වහා ඇවිත් මේසයට හිඳ ගන්නැ’ යි කියනවා ද?</verse>
				<verse number="8">එසේ නො ව, ඔබ ඔහු අමතා, ‘මට ආහාර පිළියෙල කර, නිසි ඇඳුමක් හැඳ, මා කා බී නිම වන තුරු මට උපස්ථාන කරන්න. ඉන්පසු ඔබටත් කන්න පුළුවනැ’ යි කියන්නේ නැති ද?</verse>
				<verse number="9">එම දාසයා තමන්ට අණ කළ දෑ ඉටු කළ විට, ඔහු ඔහුට ස්තුති කරනවා ද?</verse>
				<verse number="10">එසේම ඔබත්, ඔබට නියම කළ සියල්ල ඉටු කළ පසු, ‘අප නො වටිනා දාසයෝ ය; අප කළේ අපගේ කාරිය ඉටු කිරීම පමණ ය’ කියා කියන්නැ” යි පැවසූ සේක.</verse>
				<verse number="11">යේසුස්වහන්සේ යෙරුසලම බලා ගමන් ගත්තේ සමාරිය හා ගලීලය යා වෙන දේශ සීමාව ඔස්සේ ය.</verse>
				<verse number="12">උන්වහන්සේ එක් ගමකට ඇතුළු වූ කල, කුෂ්ඨ රෝගීන් දහ දෙනෙක් උන්වහන්සේට හමු විණ. ඔවුහු ඈතින් නැවතී සිට,</verse>
				<verse number="13">උස් හඬ නගා, “යේසුස් ආචාරිනි, අපට අනුකම්පා කරන්නැ” යි කීහ.</verse>
				<verse number="14">උන්වහන්සේ ඔවුන් දෙස බලා, “ගොස්, පූජකයින් වෙත පෙනී සිටින්නැ” යි ඔවුන්ට පැවසූ සේක. එසේ යන අතරේ ඔවුහු පවිත්‍ර කරන ලදහ.</verse>
				<verse number="15">ඔවුන් අතරින් කෙනෙක්, තමන් සුවය ලද වග දැක, හඬ නගා, දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්, ආපසු හැරී අවුත්,</verse>
				<verse number="16">යේසුස්වහන්සේගේ පාමුල මුහුණ ඔබා, උන්වහන්සේට ස්තුති කළේ ය. ඔහු සමාරීය වැසියෙකි.</verse>
				<verse number="17">එවිට යේසුස්වහන්සේ, “දහදෙනාම පවිත්‍ර වූවා නො වේ ද? අනෙක් නවදෙනා කොහේ ද?</verse>
				<verse number="18">දෙවියන්වහන්සේට ගෞරව පුදන්නට මේ විජාතිකයා මිස වෙන කෙනකු ආපසු ආවේ නැති ද?” කියා,</verse>
				<verse number="19">ඒ මිනිසා අමතමින්, “නැගිට, ඔබේ ගමන යන්න. ඔබේ ඇදහිල්ල ඔබ සුව කළා” යි පැවසූ සේක.</verse>
				<verse number="20">දෙවියන්වහන්සේගේ රාජ්‍යය කවදා ඒදැයි වරක් පරිසිවරුන් විසින් අසන ලදුව, උන්වහන්සේ පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යය, නිරීක්ෂණයට ලකුණු සමඟ පැමිණෙන්නේ නැත.</verse>
				<verse number="21">‘මෙන්න, එය මෙතැන ය; අන්න අතැන යැ’ යි ඔවුන් කියන්නේ නැත. මන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබ අතරේ යැ ” යි පැවසූ සේක.</verse>
				<verse number="22">ඉන්පසු ගෝලයින් ඇමතූ උන්වහන්සේ, “මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ දවස්වලින් එකක් දකින්නට ඔබ ආශා වන කාලයක් පැමිණේ; එහෙත් ඔබ එය දකින්නේ නැත.</verse>
				<verse number="23">‘අතැන බලන්න; මෙතැන බලන්න’ කියා ඔවුන් ඔබට කියනු ඇත. ඒ අසා පිටතට නො යන්න; ඔවුන් පස්සේ නො යන්න.</verse>
				<verse number="24">මන්ද විදුලිය, එක් කොණක සිට අනෙක දක්වා අහස බබළවා, එළිය කරන්නේ යම් සේ ද, මනුෂ්‍ය පුත්‍රයාණන් ද උන්වහන්සේගේ දවසේදී එසේම වන සේක.</verse>
				<verse number="25">එහෙත් පළමු කොට, උන්වහන්සේ බොහෝ දේ විඳින්නටත්, මේ පරම්පරාව විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නටත් යුතුව ඇත.</verse>
				<verse number="26">“නෝවාගේ දවස්වලදී සිදු වූ සේ මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ දවස්වලදීත් සිදු වෙයි.</verse>
				<verse number="27">නෝවා නැවට ඇතුළු වූ දවස දක්වා මිනිසුන් කමින් ද බොමින් ද ආවාහ කර ගනිමින් ද විවාහ වෙමින් ද වුන්හ. ජල ගැල්ම ගලා ඔවුන් සියල්ලන් විනාශ කළේ ය.</verse>
				<verse number="28">“ලොත්ගේ දවස්වල වූයේත් එයමයි. ඔවුහු කමින් හා බොමින් ද මිලයට ගනිමින් හා විකුණමින් ද වගා කරමින් හා ගොඩ නගමින් ද කල් යැවූහ.</verse>
				<verse number="29">එහෙත් ලොත් සොදොමෙන් පිට වූ දවසේම අහසින් ගිනි හා ගෙන්දගම් වැසි වැස ඔවුන් සියල්ලන් විනාශ කර දැමී ය.</verse>
				<verse number="30">“මනුෂ්‍ය පුත්‍රයාණන් ප්‍රකාශ වන දවසේ ද ඒ අයුරින් සිදුවන්නේ ය.</verse>
				<verse number="31">ඒ දවසේ ගෙයි පියස්සේ සිටින්නා, ගෙතුළ ඇති තම බඩු ගන්නට පහළ නො බසීවා. එසේම, කෙතේ සිටින්නා ද ආපසු නො ඒවා.</verse>
				<verse number="32">ලොත්ගේ භාර්යාව සිහි කරන්න!</verse>
				<verse number="33">තම ජීවිතය රැක ගන්නට සොයන්නා, එය අහිමි කරගනී; එහෙත් තම ජීවිතය අහිමි කරගන්නා, එය රැකගනී.</verse>
				<verse number="34">මම ඔබට කියමි, ඒ රැයේදී දෙදෙනකු එක් යහනක නිදා සිටිනු ඇත; ඉන් කෙනෙක් ගනු ලැබේ; අනෙකා හැර දැමේ.</verse>
				<verse number="35">ස්ත්‍රීන් දෙදෙනකු එක්ව ධාන්‍ය අඹරමින් සිටිනු ඇත; එක් තැනැත්තියක් ගනු ලැබේ; අනෙක් තැනැත්තිය හැර දැමේ” යි පැවසූ සේක.</verse>
				<verse number="36">මිනිසුන් දෙදෙනකු කෙතේ සිටිනු ඇත. ඉන් කෙනෙක් ගනු ලැබේ; අනෙකා හැර දමා යනු ලැබේ.</verse>
				<verse number="37">එවිට ගෝලයෝ, “කොහේ ද ස්වාමිනි?” යි ඇසූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මළකුණ කොතැන ද එතැනට ගිජු ලිහිණි රැස් වෙති” යි කී සේක.</verse>
			</chapter>
			<chapter number="18">
				<verse number="1">ඔවුන් පසුබට නො වී, නිරතුරු යාච්ඤා කළ යුතු වග පෙන්වා දීමට යේසුස්වහන්සේ ඔවුන්ට මෙම උපමා කතාව පැවසූ සේක.</verse>
				<verse number="2">“දෙවියන්වහන්සේට බය නො වූ, මිනිසුන් ගැන නො තැකූ විනිශ්චයකරුවෙක් පුරවරයක සිටියා.</verse>
				<verse number="3">එපුරයේම විසූ වැන්දඹුවක් නිතර ඔහු වෙත අවුත්, ‘අනේ මගේ එදිරිකරුවාට විරුද්ධව මට යුක්තිය ඉටුකර දෙන්නැ’ යි කීවා,</verse>
				<verse number="4">“කලක් ඔහු එය ප්‍රතික්ෂේප කළා. එහෙත් පසුව ඔහු කල්පනා කරමින්, ‘මා දෙවියන්වහන්සේට බය නැතත්, මිනිසුන් ගැන සැලකුවේ නැතත්,</verse>
				<verse number="5">මේ වැන්ඹුව දිගටම මට කරදර කරන නිසා, ඇය නො නැවතී ඇවිත් මා වෙහෙසීම නවතන පිණිස, ඇයට යුක්තිය ඉෂ්ට කර දෙනවා යැ’ යි කියා ගත්තා.”</verse>
				<verse number="6">ස්වාමින්වහන්සේ කතා කරමින්, “මේ අධාර්මික විනිශ්චයකරු කියන දේට සවන් දෙන්න.</verse>
				<verse number="7">රෑ දහවල් උන්වහන්සේගෙන් අයදින, උන්වහන්සේම තෝරා ගත්තවුන්ට දෙවියන්වහන්සේ යුක්තිය ඉටු කරන්නේ නැති ද? උන්වහන්සේ ඔවුන්ගේ අයැදුම් පමා කරන සේක් ද?</verse>
				<verse number="8">මා ඔබට කියන්නේ, උන්වහන්සේ ඉක්මනින් ඔවුන්ට යුක්තිය ඉටු කරන බවයි. කෙසේ වෙතත්, මනුෂ්‍ය පුත්‍රයාණන් යළි පැමිණෙන කල, උන්වහන්සේට මිහි පිට ඇදහිල්ල සම්භ වේ දැ?” යි පැවසූ සේක.</verse>
				<verse number="9">තමන් ධර්මිෂ්ඨයයි තමන් තුළ විශ්වාසය තබා, අන් අය සුළු කොට සලකන ඇතමකුට උන්වහන්සේ මෙම උපමා කතාව පැවසූ සේක.</verse>
				<verse number="10">“මිනිසුන් දෙදෙනෙක් යාච්ඤා කරන පිණිස දේව මාලිගාවට ගියා. ඉන් කෙනෙක් පරිසිවරයෙක්. අනෙකා බදු අය කරන්නෙක්.</verse>
				<verse number="11">පරිසියා නැගිට, තමා තුළ මෙසේ යාච්ඤා කළා: ‘දෙවියන්වහන්ස, මම වෙනත් මිනිසුන් මෙන් නො වන බැවින් ඔබට ස්තුති කරමි. මා පැහැර ගන්නෙක් හෝ අධර්මිෂ්ඨයෙක් හෝ නො වේ. පරදාරිකයෙක් ද නො වේ. මේ බදු අය කරන්නා වගේ ද නො වේ.</verse>
				<verse number="12">මා සතියකට දෙවරක් උපවාසයේ යෙදෙනවා; මට ලැබෙන දෙයින් දසයෙන් කොටස ද දෙනවා’ යි කියා ගත්තා.</verse>
				<verse number="13">“එහෙත් බදු අය කරන්නා ඈතින් සිටගෙන, ස්වර්ගය දෙස ඇස් ඔසවන්නටවත් නො සිතා, තම ළයට ගසා ගනිමින්, ‘දෙවියන්වහන්ස, පව්කාරයකු වූ මට අනුකම්පා කළ මැනව’ යි කීවා.</verse>
				<verse number="14">“මා ඔබට කියන්නේ ධර්මිෂ්ඨ කරනු ලැබ, තම නිවසට ගියේ මේ මිනිසායි; අනෙකා නො වෙයි. මන්ද තමාම උසස් කරගන්නා පහත් කරනු ලැබේ. තමාම පහත් කරගන්නා උසස් කරනු ලැබේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="15">යේසුස්වහන්සේ ලවා අත් තබා ගන්නට, ඔවුන් ළදරුවන් උන්වහන්සේ වෙත ගෙන ආහ. ඒ දුටු ගෝලයෝ ඔවුන්ට තරවටු කළහ.</verse>
				<verse number="16">එහෙත් යේසුස්වහන්සේ ඔවුන් තමා වෙත කැඳවමින්, “දරුවන්ට මා වෙත එන්නට ඉඩ හරින්න. ඔවුන් වළක්වන්න එපා. මන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය මෙබඳු වූවන්ගේයි.</verse>
				<verse number="17">සැබවින් ම මා ඔබට කියන්නේ, යමෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යය කුඩා දරුවකු මෙන් පිළිගන්නේ නැතිනම්, ඔහු කිසිසේත්ම එහි ඇතුළු වන්නේ නැතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="18">එක් අධිපතියෙක් උන්වහන්සේ අමතමින්, “යහපත් ගුරුතුමනි, සදාතන ජීවනය උරුම කර ගන්නට, මා කුමක් කළ යුතු දැ?” යි ඇසී ය.</verse>
				<verse number="19">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “යහපත් ය කියා ඔබ මා අමතන්නේ ඇයි? දෙවියන්වහන්සේ හැර, අන් කිසිවෙක් යහපත් නො වේ.</verse>
				<verse number="20">‘පරදාර සේවනයේ නො යෙදෙනු, මිනී නො මරනු, සොරකම් නො කරනු, බොරු සාක්ෂි නො කියනු, පියාට හා මවට ගරු කරනු’ යන ආඥා ඔබ දනිතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="21">ඔහු ඊට පිළිතුරු දෙමින්, “යොවුන් වියේ පටන් මම ඒ සියල්ල පිළිපැද ඇත්තෙමි” යි කීවේ ය.</verse>
				<verse number="22">යේසුස්වහන්සේ ඒ අසා, “ඔබට තවමත් එක් දෙයක් අඩුයි. ඔබ සතු හැම දෙයක්ම විකුණා දිළිඳුන්ට බෙදා දෙන්න. එවිට ඔබට ස්වර්ගීක ධනය අත්වනු ඇත; ඉන්පසු ඇවිත් මා අනුගමන කරන්නැ” යි පැවසූ සේක.</verse>
				<verse number="23">ඒ ඇසූ කල, ඒ මිනිසා දැඩි සොවට පත් විය. මන්ද ඔහු බොහෝ ධනවත්ව සිටි බැවිනි.</verse>
				<verse number="24">යේසුස්වහන්සේ ඔහු දෙස බලා, “ධනවතුන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම කොතරම් අසීරු ද?</verse>
				<verse number="25">ධනවතකුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා, ඔටුවකුට ඉඳිකටු සිදුරින් රිංගා යෑම පහසු යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="26">එවිට ඒ ඇසූ අය, “එසේ නම් ගැලවෙන්නට හැක්කේ කවරකුට දැ?” යි ඇසූහ.</verse>
				<verse number="27">“මිනිසුන්ට නො හැකි දේ දෙවියන්වහන්සේට හැකි යැ” යි උන්වහන්සේ කී සේක.</verse>
				<verse number="28">එවිට පේතෘස් කතා කොට, “අප ඔබ අනුව ආවේ, අපට තිබූ සියල්ල අත්හැර දමලා” යි කීවේ ය.</verse>
				<verse number="29">ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “සැබවින් ම මා ඔබට කියන්නේ; දෙවියන්වහන්සේගේ රාජ්‍යය උදෙසා, ගේ-දොර හෝ භාර්යාව හෝ සහෝදරයන් හෝ මාපියන් හෝ දරුවන් හෝ අත්හළ කවරෙක් වුව ද,</verse>
				<verse number="30">මේ ජීවිතයේදී ඊට වඩා කීප ගුණයක් වැඩියෙන් ද මතු උදා වන යුගයේදී සදාතන ජීවනය ද නො ලබා නො සිටින්නේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="31">යේසුස්වහන්සේ දොළොස් දෙනා පසෙකට කැඳවා, “අප දැන් යන්නේ යෙරුසලමටයි; මනුෂ්‍ය පුත්‍රයාණන් ගැන දිවැසිවරුන් විසින් ලියන ලද හැම දෙයක්ම සම්පූර්ණ විය යුතුයි.</verse>
				<verse number="32">උන්වහන්සේ විදේශීන් අතට පාවා දෙනු ලැබ, සරදම් කරනු ලැබ, ලජ්ජා සහගතව සලකනු ලැබ, කෙළ ගසනු ලබයි;</verse>
				<verse number="33">ඔවුන් උන්වහන්සේට කස පහර දී, මරා දමනු ඇත. තුන් වන දවසේ උන්වහන්සේ නැවත නැගිටිනු ඇතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="34">ඒ කී කිසිවක් ඔවුන්ට වැටහුණේ නැත. ඒ කියමන ඔවුන්ගෙන් සැඟවී තිබූ බැවින්, කියන ලද කිසිවක් ඔවුන්ට වැටහුණේ නැත.</verse>
				<verse number="35">උන්වහන්සේ යෙරිකෝවට ළඟා වූ කල, අන්ධ මිනිහෙක් පාර අයිනේ හිඳ, සිඟමින් සිටියේ ය.</verse>
				<verse number="36">තමන් පසුකර සමූහයක් යනු ඇසී, ඒ කුමක්දැයි ඔහු විමසී ය.</verse>
				<verse number="37">“නාසරෙත්හි යේසුස්වහන්සේ මෙතැන පසුකර යති” යි ඔවුහු ඔහුට කීහ.</verse>
				<verse number="38">එවිට ඔහු, “යේසුස්වහන්ස, දාවිත්ගේ පුත්‍රයාණෙනි, අනේ මට කරුණා කළ මැනව” යි මොර ගැසී ය.</verse>
				<verse number="39">පෙරටුවෙන් ගමන් කළෝ නිශ්ශබ්ද වන ලෙස ඔහුට තරවටු කළෝ ය. එහෙත් ඔහු වඩ වඩා හඬ නගමින්, “දාවිත්ගේ පුත්‍රයාණෙනි, මට අනුකම්පා කළ මැනව” යි මොර ගැසී ය.</verse>
				<verse number="40">යේසුස්වහන්සේ නැවතී, ඔහු තමන් වෙත පමුණුවන්නට අණ කළ සේක. ඔහු තමන් අසලට ආ කල, ඔහු ඇමතූ උන්වහන්සේ,</verse>
				<verse number="41">“මගෙන් ඔබට කෙරෙන්න ඕනෑ කුමක් දැ?” යි ඇසූ සේක. “ස්වාමිනි, මට යළි පෙනීම ලබන්නට ඕනෑ” යි ඔහු පිළිතුරු දුන්නේ ය.</verse>
				<verse number="42">එවිට යේසුස්වහන්සේ, “ඔබේ පෙනීම ලබන්න; ඔබේ ඇදහිල්ල ඔබ සුව කළේ යැ” යි කී සේක.</verse>
				<verse number="43">එකෙණෙහිම ඇස් පෙනීම ලද ඔහු උන්වහන්සේ අනුව ගියේ දෙවියන්වහන්සේට මහිමය දෙමිනි. ඒ දුටු මුළු මහත් ජනයා ද දෙවියන්වහන්සේට ප්‍රශංසා කළෝ ය.</verse>
			</chapter>
			<chapter number="19">
				<verse number="1">උන්වහන්සේ යෙරිකෝවට ඇතුල්ව, නගරය හරහා ගමන් ගත් සේක.</verse>
				<verse number="2">සාකෙවුස් නම් මනුෂ්‍යයෙක් එහි විය. බදු අයකරන්නන්ගේ ප්‍රධානියකු වූ ඔහු ධනවතෙකි.</verse>
				<verse number="3">යේසුස්වහන්සේ කවුරුදැයි දැක ගැනීමට ඕනෑ වුව ද, සමූහයා නිසා ඔහුට උන්වහන්සේ දැකිය නො හැකි විය. මන්ද ඔහු මිටි මිනිසකු වූ බැවිනි.</verse>
				<verse number="4">එබැවින් ඔහු ඉදිරියට දුව ගොස්, උන්වහන්සේ දැක ගන්නට අත්තික්කා ගහකට නැග ගත්තේ ය. මන්ද උන්වහන්සේ යමින් සිටියේ ඒ මාර්ගයේ ය.</verse>
				<verse number="5">යේසුස්වහන්සේ එතැනට පැමිණ, ඉහළ බලා, “සාකෙවුස්, ඉක්මනින් බිමට බහින්න. අද මා ඔබේ නිවසේ නවාතැන් ගත යුතු යැ” යි කී සේක.</verse>
				<verse number="6">ඔහු වහා බිමට බැස, ප්‍රීතියෙන් උන්වහන්සේ පිළිගත්තේ ය.</verse>
				<verse number="7">ඒ දුටු සියල්ලෝ, “එතුමන් පව්කාර මිනිහකුගේ ආගන්තුකයා වීමට ගියා” යි කොඳුරන්නට වූහ.</verse>
				<verse number="8">එහෙත් සාකෙවුස් නැගිට, ස්වාමින්වහන්සේ අමතමින්, “මෙන්න! මගේ වස්තුවෙන් බාගයක් දිළිඳුන්ට මා දෙනවා ස්වාමිනි, යමකුට මා යම් වංචාවක් කර ඇත්නම් එමෙන් හතර ගුණයක් ආපසු ගෙවනවා” යි කීවේ ය.</verse>
				<verse number="9">එවිට යේසුස්වහන්සේ කතා කරමින්, “මොහුත් ආබ්‍රහම්ගේ දරුවකු නිසා, අද මේ නිවසට ගැලවීම පැමිණියා.</verse>
				<verse number="10">මන්ද මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ, නැති වූ දේ සොයන්නටත්, ගලවන්නටත්” යැයි පැවසූ සේක.</verse>
				<verse number="11">ඔවුන් මේවා අසා සිටියදී, උන්වහන්සේ ඔවුන්ට මෙම උපමා කතාව පැවසුවේ උන්වහන්සේ යෙරුසලමට ළං වෙමින් සිටි නිසා හා දෙවියන්වහන්සේගේ රාජ්‍යය වහා පහළ වෙතැයි ජනයා සිතූ නිසා ය.</verse>
				<verse number="12">එබැවින් උන්වහන්සේ කතා කරමින්, “එක්තරා වංශවත් මනුෂ්‍යයෙක් තමාට රාජ පදවියක් ලබා ආපසු එන පිණිස ඈත රටකට ගියේ ය.</verse>
				<verse number="13">ඔහු තමාගේ සේවකයින් දහ දෙනකු කැඳවා, ඔවුන්ට මසු දහයක් දී ‘මා ආපසු එන තුරු මෙයින් වෙළඳාම් කරන්නැ’ යි කී ය.</verse>
				<verse number="14">“එහෙත් ඔහුගේ පුරවාසීහු ඔහුට ද්වේෂ කර, ‘මේ මිනිහා අපේ රජ වෙනවාට අප විරුද්ධ යැ’ යි දන්වමින් ඔහු ගිය පසු නියෝජිතයින් යැවූහ.</verse>
				<verse number="15">“කෙසේ වුව ද රාජ්‍යය ලැබ ආපසු පැමිණි ඔහු, තමා මුදල් දුන් සේවකයින් වෙළඳාමෙන් කොපමණ උපයා ඇද්දැයි බලන පිණිස තමන් වෙත ඔවුන් කැඳවන්නට අණ කළේ ය.</verse>
				<verse number="16">“පළමු වැන්නා පැමිණ, ‘ස්වාමිනි, ඔබගේ මස්ස, තව වැඩිපුර මසු දහයක් උපයා ඇතැ’ යි කී ය.</verse>
				<verse number="17">“එවිට ඔහු, ‘හරි අගෙයි, හොඳ සේවකය, ඉතා සුළු දෙයක් ගැන ඔබ විශ්වාසී වූ නිසා නගර දහයක ආධිපත්‍යය ඔබට වේ යැ’ යි කී ය.</verse>
				<verse number="18">“දෙවැන්නා අවුත්, ‘ස්වාමිනි, ඔබගේ මස්ස, තවත් මසු පහක් ඉපැයී යැ’ යි කී ය.</verse>
				<verse number="19">“එවිට ඔහු, ‘නගර පහක ආධිපත්‍යය ඔබට වන්නේ යැ’ යි කී ය.</verse>
				<verse number="20">“තවත් කෙනෙක් පැමිණ, ‘ස්වාමිනි, මෙන්න ඔබේ මස්ස; මා එය රෙදි කඩක ඔතා තැබුවෙමි.</verse>
				<verse number="21">ඔබ, තද කෙනකු නිසා මා බය වීමි. ඔබ තැන්පත් නො කළ දේ ගන්නා වූ, නො වපුළ දේ කපා ගන්නා වූ, කෙනෙකි’ යි කී ය.</verse>
				<verse number="22">“හාම්පුතා ඔහුට පිළිතුරු දෙමින්, ‘එම්බා දුෂ්ට සේවකය! මා නුඹ විනිශ්චය කරන්නේ නුඹේම වචනවලින්; මා තැන්පත් නො කළ දේ ගන්න, නො වැපුරූ දේ කපා ගන්න තද ගති ඇත්තකු වග නුඹ දැන සිටියා?</verse>
				<verse number="23">එසේ නම් මා ආපසු ආ කල පොලියත් සමඟ අය කර ගැනීමට, මගේ මුදල බැංකුවේ තැන්පත් නො කළේ ඇයි?’ දැයි ඇසුවා.</verse>
				<verse number="24">“තමා ළඟ සිටියවුනට කතා කළ ඔහු, ‘මස්ස මොහුගෙන් ගෙන මසු දහය ඇත්තාට දෙන්නැ’ යි කීවා.</verse>
				<verse number="25">“එවිට ඔවුන්, ‘ස්වාමිනි, ඔහුට මසු දහයක්ම ඇතැ!’ යි කීවා.</verse>
				<verse number="26">“ඔහු පිළිතුරු දෙමින්, ‘මා ඔබට කියන්නේ, ඇති හැම කෙනකුට වඩ වඩා දෙනු ලැබේ; නැති තැනැත්තාගෙන් ඔහුට ඇති දේත් ගනු ලැබේ.</verse>
				<verse number="27">එහෙත්, මා තමන්ට රජකම් කරනවාට විරුද්ධ වූ මාගේ සතුරන් මෙහි ගෙනවුත්, මා ඉදිරියේ මරා දමනු’ යි අණ කළා” යි පැවසූ සේක.</verse>
				<verse number="28">මේ දෑ කී පසු, උන්වහන්සේ යෙරුසලම බලා ඉදිරියට ගිය සේක.</verse>
				<verse number="29">උන්වහන්සේ ඔලීව යයි හැඳින් වූ කන්ද අසල, බෙත්පාගේ හා බෙතානිය වෙත ළඟා වූ කල, තම ගෝලයින් දෙදෙනකු පිටත් කර යවමින්,</verse>
				<verse number="30">“ඉදිරියෙන් ඇති ගමට යන්න; ඊට ඇතුළු වූ විට, මින් ඉහත කිසිවකුත් නො නැගුණු කොටළු වස්සකු බැඳ සිටිනු ඔබට හමු වෙයි. ඌ ලිහා මෙහි ගෙනෙන්න.</verse>
				<verse number="31">‘ඌ ලිහන්නේ මන්දැ?’ යි යමෙක් ඔබෙන් ඇසුවහොත්, ‘ස්වාමින්වහන්සේට ඌ උවමනා ය’ කියන්නැ” යි කී සේක.</verse>
				<verse number="32">එසේ යවනු ලැබූවෝ පිටත්ව ගොස්, උන්වහන්සේ ඔවුන්ට පැවසූ ලෙසම හමු වී,</verse>
				<verse number="33">ඔවුන් ඌ ලිහද්දී, “ඔය කොටළු වස්සා ලිහන්නේ ඇයි දැ?” යි උගේ අයිතිකරුවෝ ඇසූහ.</verse>
				<verse number="34">ඔවුහු පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේට ඌ වුවමනා වී ඇතැ” යි කීහ.</verse>
				<verse number="35">යේසුස්වහන්සේ වෙත ඌ ගෙන ආ ඔවුහු, තමන්ගේ උඩු කබා ඌ පිට අතුරා, ඒ පිට යේසුස්වහන්සේ හිඳෙව්වෝ ය.</verse>
				<verse number="36">උන්වහන්සේ ඌ පිට යද්දී, ඔවුහු තම උඩු කබා මග දිගට ඇතුරූහ.</verse>
				<verse number="37">උන්වහන්සේ ඔලීව කඳු බෑවුමට ළඟා වූ කල, උන්වහන්සේගේ මුළු ගෝල සමූහයා, ප්‍රමෝද වන්නටත්, තමන් දුටු සියලු බලවත් ක්‍රියා ගැන උස් හඬින් දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන්නටත් වූයේ,</verse>
				<verse number="38">“ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන රජ්ජුරුවන් ආශිර්වාදිත ය!” “ස්වර්ගයෙහි සාමය ය! උසස් තැන්හි තේජස යැ!” යි කියමිනි.</verse>
				<verse number="39">සමූහයා අතර සිටි ඇතැම් පරිසිවරු යේසුස්වහන්සේ අමතා, “ගුරුතුමනි, ඔබගේ ගෝලයින්ට තරවටු කරන්නැ” යි කීහ.</verse>
				<verse number="40">උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මා ඔබට කියන්නම්; මොවුන් නිහඬ වුවහොත්, මේ ගල් හඬ නඟාවි” යි පැවසූහ.</verse>
				<verse number="41">උන්වහන්සේ යෙරුසලම වෙත ළඟා වී, නගරය දුටු කල, එය ගැන වැලපෙමින්,</verse>
				<verse number="42">“අහෝ! නුඹ, නුඹට සාමය සලසන දෑ ගැන මේ දවසේදීවත් දැන සිටියා නම්! එහෙත් ඒවා නුඹේ ඇස්වලින් සඟවනු ලැබ තිබේ.</verse>
				<verse number="43">නුඹේ සතුරන් නුඹට එරෙහිව ගොඩැලි නගා, නුඹ වටලා, හැම අතින්ම නුඹ කොටුකරන දවස් නුඹ පිට පැමිණෙයි.</verse>
				<verse number="44">ඔවුන් නුඹේ දරුවන් සමඟ නුඹ පොළොවේ ගසනු ඇත. තවද ඔවුන් නුඹ තුළ ගලක් පිට ගලක් තියන්නට හරින්නේ නැත. මන්ද දෙවියන්වහන්සේ නුඹලා බැහැදැක්මේ කාලය නුඹලා හැඳින ගත්තේ නැතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="45">ඉන්පසු උන්වහන්සේ දේව මාලිගයට ඇතුල්ව, එහි සිටි වෙළඳාම් කළවුන් පලවා හැරියේ,</verse>
				<verse number="46">“ලියා තිබෙන්නේ, ‘මාගේ ගෘහය යාච්ඤාවේ ගෘහයකි’ කියායි. එහෙත් නුඹලා එය ‘සොරුන්ගේ ගුහාවක්’ කර තිබේ යයි කියමිනි.”</verse>
				<verse number="47">දිනපතා උන්වහන්සේ දේව මාලිගයේ ඉගැන්වූ සේක. එහෙත් නායක පූජකවරු, දහම් පඬිවරු, හා ජන ප්‍රධානීහු උන්වහන්සේ මරා දැමීමට සෙවූහ.</verse>
				<verse number="48">එහෙත් එය කළ හැකි මඟක් ඔවුන්ට නො වීය; මන්ද මුළු ජනතාව උන්වහන්සේගේ වචනවලට තදින් ඇලුම් වී සිටි බැවිනි.</verse>
			</chapter>
			<chapter number="20">
				<verse number="1">දිනක් යේසුස්වහන්සේ දේව මාලිගයේ ජනයාට උගන්වමින් හා ශුභාරංචිය දේශනා කරමින් සිටියදී, නායක පූජකවරු හා දහම් පඬිවරු වැඩිහිටියන් සමඟ පැමිණ,</verse>
				<verse number="2">උන්වහන්සේට කතා කොට, “ඔබ මේ දේවල් කරන්නේ කවර අධිකාරී බලයකින් ද? ඔබට මේ බලය දුන්නේ කවුරුන්දැයි අපට කියන්නැ” යි කීහ.</verse>
				<verse number="3">උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මමත් ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්; මට කියන්න,</verse>
				<verse number="4">යොහන්ගේ බව්තීස්මය ස්වර්ගයෙන් ද? නැතිනම් මිනිසුන්ගෙන් දැ?” යි ඇසූ සේක.</verse>
				<verse number="5">ඔවුහු තම තමන් අතරේ සාකච්ඡා කරමින්, “ ‘ස්වර්ගයෙනි’ යි අප කීවොත්, ‘ඔබ යොහන් විශ්වාස නො කළේ මන්දැ?’ යි ඔහු අසාවි;</verse>
				<verse number="6">‘මිනිසුන්ගෙනි’ යි කීවොත් මුළු ජනතාව අප මැරෙන තුරු ගල් ගසාවි; මන්ද යොහන් දිවැසිවරයකු බවට ජනතාව ඒත්තු ගෙන ඇතැ” යි කීහ.</verse>
				<verse number="7">එබැවින් ඔවුහු පිළිතුරු දෙමින්, “එය කොතැනින්දැයි අප දන්නේ නැතැ” යි කීහ.</verse>
				<verse number="8">යේසුස්වහන්සේ ද පිළිතුරු දෙමින්, “මා මේ දේවල් කරන්නේ කවර අධිකාරී බලයක් පිටදැයි මාත් ඔබට කියන්නේ නැතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="9">උන්වහන්සේ ජනයාට මෙම උපමා කතාව කියන්නට වන් සේක: “මිනිසෙක් මිදි වත්තක් වවා, ගොවීන්ට බදු දී, දිගු කලකට පිට රටකට ගියේ ය.</verse>
				<verse number="10">නිසි කල පැමිණි විට, මිදි වත්තේ පලවලින් කොටසක් ඔවුන් තමාට ලබන පිණිස, ඔහු බදුකරුවන් වෙත සේවකයකු යැවී ය. එහෙත් බදුකරුවෝ ඔහුට තළා, හිස් අතින්ම ආපසු හැරියහ.</verse>
				<verse number="11">එකල ඔහු වෙනත් දාසයකු යැවී ය. ඔවුහු ඔහුට ද තළා, නින්දා සහගතව සලකා, හිස් අතින්ම පලවා හැරියහ.</verse>
				<verse number="12">ඔහු යළි තුන්වැන්නකු යැවී ය. ඔවුහු ඔහුට තුවාල කොට, ඔහු පිටතට පලවා හැරියහ.</verse>
				<verse number="13">“එවිට මිදි වතු හිමියා, ‘කුමක් ද මා කරන්නේ? මම මගේ ප්‍රේමණීය පුත්‍රයා යවමි. ඇතැම් විට ඔවුන් ඔහුට ගරු කරනු ඇතැ’ යි කීවේ ය.</verse>
				<verse number="14">“එහෙත් බදුකරුවෝ ඔහු දුටු කල, තමන් අතරේ කතා කරමින්, ‘මෙන්න උරුමක්කාරයා, මොහු අල්ලා මරා දමමු! එවිට උරුමය අපට යැ’ යි කීහ.</verse>
				<verse number="15">මෙසේ ඔවුහු, ඔහු අල්ලා, මිදි වත්තෙන් පිටත හෙළා, ඔහු මරා දැමූහ. “දැන්, මිදි වතු හිමියා ඔවුනට කුමක් කරනු ඇද්ද?</verse>
				<verse number="16">ඔහු ඇවිත් මේ බදුකරුවන් මරා, ඒ මිදි වත්ත වෙනත් අයට බාර දෙනු ඇතැ” යි පැවසූ සේක. ඒ ඇසූ ජනයා, “නෑ; එසේ නො වේවා!” යි පැවසූහ.</verse>
				<verse number="17">එක එල්ලේම ඔවුන් දෙස බැලූ යේසුස්වහන්සේ, “එසේ නම්, මෙසේ ලියා ඇත්තේ කුමක් ද: “ ‘ඉදිකරන්නන් විසින් ඉවත ලූ ගල, ප්‍රධාන ඉදිකිරීම් ගල බවට පත් කරනු ලැබී ය.’</verse>
				<verse number="18">ඒ ගල පිට වැටෙන කවුරු නමුත් කැබලිවලට කඩා දමනු ලැබේ; ඒ ගල යමකු මත වැටේ ද එයින් ඔහු සුණු විසුණු කරනු ලැබේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="19">එම උපමාව තමන්ට එරෙහිව එල්ල කරන ලද්දක් බැව් දැනගත් දහම් පඬිවරු හා නායක පූජකවරු ඒ අවස්ථාවේම උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට මඟක් සෙවූහ. එහෙත් ඔවුහු ජනතාවට බය වූහ.</verse>
				<verse number="20">එබැවින් ඔවුහු විපරමින් සිට, අවංකයින් සේ පෙන්නුම් කළ ඔත්තුකරුවන් උන්වහන්සේ වෙත යැවූහ. එසේ කළේ, කට වචනයෙන් උන්වහන්සේ කොටු කර, ආණ්ඩුකාරයාගේ බලාධිකාරියට ද ආධිපත්‍යයට ද උන්වහන්සේ බාර දෙන අදහසින් ය.</verse>
				<verse number="21">මෙසේ ඔවුහු උන්වහන්සේගෙන් ප්‍රශ්න කරමින්, “ගුරුතුමනි, ඔබතුමා ඇත්ත කතා කරන, උගන්වන කෙනකු බවත්, තරාතිරම් නො තකා, දෙවියන්වහන්සේගේ මාර්ගය සත්‍යයට එකඟව උගන්වන වගත් අප දන්නවා.</verse>
				<verse number="22">සීසර්ට බදු ගෙවීම අපට නිත්‍යානුකූල ද? නැද්දැ?” යි ඇසූහ.</verse>
				<verse number="23">එහෙත් ඔවුන්ගේ ප්‍රයෝගකාරීත්වය වටහා ගත් උන්වහන්සේ,</verse>
				<verse number="24">“මට ඩිනාරියක කාසියක් පෙන්වන්න; මෙහි ඇති රූපයත්, කොටා ඇති සටහනත් කාගේ දැ?” යි ඇසූ සේක. “සීසර්ගේ යැ” යි ඔවුහු කීහ.</verse>
				<verse number="25">එවිට උන්වහන්සේ, “එසේ නම්, සීසර්ගේ දේ සීසර්ටත්, දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දෙන්නැ” යි ඔවුන්ට පැවසූ සේක.</verse>
				<verse number="26">ජනයා ඉදිරියේ කට වචනයෙන් උන්වහන්සේ කොටු කර ගැනීමට අපොහොසත් වූ ඔවුහු උන්වහන්සේගේ පිළිතුරෙන් මවිතව, නිහඬ වූහ.</verse>
				<verse number="27">මරණින් නැගිටීමක් නැතැයි කියන සද්දුසිවරුන්ගෙන් ඇතමෙක් උන්වහන්සේ වෙත පැමිණ,</verse>
				<verse number="28">උන්වහන්සේගෙන් ප්‍රශ්න කරමින්, “ගුරුතුමනි, මෝසෙස් අපට ලියා දී ඇත්තේ, මිනිසකුගේ සහෝදරයාට භාර්යාවක සිටියදී, එහෙත් දරුවන් නො සිටියදී මළොත්, ඔහුගේ සහෝදරයා ඒ වැන්දඹුව ආවාහ කරගෙන, තම සහෝදරයා නමට දරු පල ලබා දිය යුතු ය කියායි.</verse>
				<verse number="29">ඉදින් සහෝදරයින් හත්දෙනෙක් සිටියා. පළමු වැන්නා ස්ත්‍රියක් විවාහ කරගෙන දරු පල නො ලැබ මිය ගියා.</verse>
				<verse number="30">පසුව දෙවැන්නාත්,</verse>
				<verse number="31">ඉන්පසුව තුන්වැන්නාත් ඇය විවාහ කර ගත්තා. මෙලෙස හත්දෙනාම අනුපිළිවෙලින් ඇය විවාහ කර ගත් නමුදු, දරුවන් නො ලැබම මිය ගියා.</verse>
				<verse number="32">අවසානයේදී ඒ ස්ත්‍රිය ද මිය ගියා.</verse>
				<verse number="33">මෙසේ, ඇය මේ හත්දෙනාගේම භාර්යාව වූ බැවින්, මරණින් නැවත නැගිටීමේදී මේ අයගෙන් කාගේ භාර්යාව වන්නී දැ?” යි ඇසූහ.</verse>
				<verse number="34">යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මේ යුගයේ පුත්‍රයෝ ආවාහ කර ගනිති; විවාහ කරදෙති.</verse>
				<verse number="35">එහෙත් එම යුගය අත්කර ගැනීමට හා මළවුන්ගෙන් නැවත නැගිටීමට සුදුස්සන් යැයි ගණන් ගනු ලබන්නන් ආවාහ කර ගන්නේවත්, විවාහ කර දෙන්නේවත් නැත.</verse>
				<verse number="36">ඉන්පසු මියෙන්නට ඔවුන්ට නුපුළුවන; මන්ද ඔවුහු දේව දූතයින්ට සමාන වෙති. නැවත නැගිටීමේ පුත්‍රයින් වීමෙන්, ඔවුහු දෙවියන්වහන්සේගේ පුත්‍රයින් වෙති.</verse>
				<verse number="37">දැවෙන පඳුර පිළිබඳ කොටසෙහි, මළවුන් නැවත නැගිටුවනු ලබන වග මෝසෙස් පවා පෙන්වා දී තිබේ. ඔහු පවසන්නේ ස්වාමින්වහන්සේ, ‘ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ ය; ඊසාක්ගේ දෙවියන්වහන්සේ ය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ ය’ යනුවෙනි.</verse>
				<verse number="38">උන්වහන්සේ මළවුන්ගේ නො ව ජීවතුන්ගේ දෙවියන්වහන්සේ ය. මන්ද උන්වහන්සේට සියල්ලන්ම ජීවතුන් වන බැවිනි” පැවසූ සේක.</verse>
				<verse number="39">එවිට දහම් පඬිවර ඇතමෙක්, “අගේ ඇති කියමන ගුරුතුමනි” යි කීහ.</verse>
				<verse number="40">තවදුරටත් උන්වහන්සේගෙන් ප්‍රශ්න කිරීමට කිසිවකු එඩිතර නො වීය.</verse>
				<verse number="41">උන්වහන්සේ ඔවුන්ට කියන සේක්, “ක්‍රිස්තුස්වහන්සේ දාවිත්ගේ පුත්‍රයා යැයි ඔවුන් කියන්නේ කෙසේ ද?</verse>
				<verse number="42">දාවිත් ම ගීතාවලිය පොතේ මෙසේ පවසයි: “ ‘මා විසින් ඔබේ සතුර න්ඔබේ පයට පා පුටුවක් කරදෙන තෙක්, මා දකුණු පසින් අසුන් ගන්නැ’ යි ස්වාමින්වහන්සේ මා ස්වාමින්වහන්සේට පැවසූ සේක.”</verse>
				<verse number="43">මෙසේ, දාවිත් ම උන්වහන්සේට ස්වාමින්වහන්සේ ය කියයි නම්, උන්වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේ ද?</verse>
				<verse number="44">මුළු ජනකාය අසා සිටියදී, උන්වහන්සේ තම ගෝලයින් අමතමින්,</verse>
				<verse number="45">“දහම් පඬිවරුන්ගෙන් පරෙස්සම් වන්න; දිග ලෝගු ඇඳ, සක්මන් කිරීමට කැමති ඔවුන්, ප්‍රසිද්ධ ස්ථානවලදී ගෞරවාචාර ලැබීමටත්, සිනගෝගවල විශේෂ ආසන දැරීමටත්, මංගල සාදයන්හිදී ගෞරවනීය ස්ථාන දැරීමටත් කැමති ය.</verse>
				<verse number="46">ඔවුහු වැන්දඹුවන්ගේ ගේ-දොර කොල්ල කති. අනුන්ට පෙනෙන්නට දීර්ඝ යාච්ඤා පවත්වති. ඔවුන් වඩා බරපතළ දඬුවම් ලබනු ඇතැ” යි පැවසූ සේක.</verse>
			</chapter>
			<chapter number="21">
				<verse number="1">යේසුස්වහන්සේ ඇස් ඔසවා බැලූ කල, ධනවතුන් පඬුරු පෙට්ටියට පඬුරු දමන අයුරු දුටු සේක.</verse>
				<verse number="2">දිළිඳු වැන්දඹුවක් සතයේ තඹ කාසි දෙකක් එහි දමන අයුරු ද දුටු සේක.</verse>
				<verse number="3">එවිට උන්වහන්සේ, “සැබවින් ම මා ඔබට කියන්නේ, මේ දිළිඳු වැන්දඹුව ඔවුන් හැමට වඩා වැඩියෙන් දැමූ බවයි.</verse>
				<verse number="4">මන්ද ඒ සැවොම පඬුරු දැමුවේ, තමන්ගේ වැඩිමනත් ධනයෙනි. එහෙත් මෑ තමන්ට අග හිඟව තිබියදීත්, ජීවත් වීමට තිබූ සියල්ල දැමුවා යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="5">දේව මාලිගය රමණීය ගලින් හා පූජා කරන ලද දේවලින් අලංකාර කර තිබූ අයුරු ඇතමුන් කතා කරද්දී, උන්වහන්සේ</verse>
				<verse number="6">කතා කරමින්, “ඔබ දකින මේ දේවල් ගැන කියනවා නම්, මෙතැන ගලක් පිට ගලක් නො තිබෙන සේ, හැම එකක්ම බිඳ දමනු ලබන දවස් පැමිණෙනු ඇතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="7">එවිට ඔවුහු, “ගුරුතුමනි, ඒ දේවල් වන්නේ කවරදා ද? මේ දෑ සිදුවන්නට ළං වූ කල, ඇති වන පෙර නිමිත්ත කුමක් දැ?” යි උන්වහන්සේගෙන් ඇසූහ.</verse>
				<verse number="8">උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මුළා කරනු නො ලබන්නට වගබලා ගන්න. මන්ද බොහෝ දෙනෙක් මාගේ නාමයෙන් අවුත්, ‘උන්වහන්සේ මමයි. කාලය අත ළඟයි’ කියනු ඇත. ඔවුන් පසුපස නො යන්න.</verse>
				<verse number="9">යුද්ධ ගැනත්, කැරලි ගැනත් ඔබට අසන්නට ලැබෙන විට තැති ගන්න එපා. මන්ද මේ දේවල් පළමු කොට සිදු විය යුතුව තිබේ. එනමුත් අවසානය එකපාරට සිදුවන්නේ නැතැ” යි කී සේක.</verse>
				<verse number="10">ඉන්පසු උන්වහන්සේ ඔවුන්ට කියන සේක්: “ජාතියකට එරෙහිව ජාතියක් ද රාජ්‍යයකට එරෙහිව රාජ්‍යයක් ද නැගී සිටිනු ඇත.</verse>
				<verse number="11">නොයෙක් තැන්හි භූමිකම්පා, සාගත හා වසංගත ඇති වෙයි. භයංකර සිදුවීම් හා අහසේ මහා ලකුණු ඇති වෙයි.</verse>
				<verse number="12">“එහෙත් මේ සියල්ලට පළමු ඔවුන් ඔබ අත්අඩංගුවට ගෙන, සිනගෝගවල ද සිර ගෙවල දමමින්, ඔබට වධ හිංසා පමුණුවනු ඇත. මාගේ නාමය නිසා රජුන් හා ආණ්ඩුකාරයින් ඉදිරියට ඔබ ගෙන යනු ලබනු ඇත.</verse>
				<verse number="13">සාක්ෂි දරන පිණිස මෙය ඔබට අවස්ථාව වනු ඇත.</verse>
				<verse number="14">එබැවින් උත්තර දෙන්නේ කෙසේදැයි සිතමින් කනස්සලු නො වීමට ඔබගේ සිත සකසා ගන්න.</verse>
				<verse number="15">මන්ද ඔබේ එදිරිවාදීන් කිසිවකුට බිඳ දැමිය නො හැකි වූත්, නිෂ්ප්‍රභා කළ නො හැකි වූත් කථිකත්වයක් හා ප්‍රඥාවක් මම ඔබට දෙන්නෙමි.</verse>
				<verse number="16">ඔබේම දෙමවුපියන්, සහෝදරයින්, නෑයින් හා මිතුරන් විසින්ම ඔබ පාවා දෙනු ලබනු ඇත. ඔබගෙන් ඇතැම් දෙනකු ඔවුන් අතින් මැරුම් කනු ඇත.</verse>
				<verse number="17">මාගේ නාමය නිසා සැවොම ඔබට වෛර කරනු ඇත.</verse>
				<verse number="18">එහෙත් ඔබගේ හිස කෙසක් පමණවත් නැති නො වනු ඇත.</verse>
				<verse number="19">නො සැලී ස්ථිරව සිටීමෙන් ඔබ ජීවනය දිනනු ඇත.</verse>
				<verse number="20">“හමුදා, යෙරුසලම වටලා සිටිනු දකින කල, එය පාළුවට යෑම ළං වී ඇති වග දැනගන්න.</verse>
				<verse number="21">එවිට යුදයේ සිටින්නෝ කඳුවලට පලා යත්වා! පුරවරය තුළ සිටින්නෝ ඉන් පිටතට යත්වා! ගම්බදව සිටින්නෝ නගරයට ඇතුළු නො වෙත්වා!</verse>
				<verse number="22">මන්ද ලියා ඇති සියල්ල සම්පූර්ණ වන පිණිස, ඒවා පළිගැනීමේ දවස් ය.</verse>
				<verse number="23">ගැබිණියනටත්, කිරිදෙන මවුන්ටත් ඒ දවස් අහෝ භයංකර ය. මන්ද දේශය පිට මහත් ව්‍යසනයක් ද මේ ජනයාට එරෙහිව උදහස ද එනු ඇත.</verse>
				<verse number="24">ඔවුන් කඩුවට ගොදුරුව වැටෙනු ඇත; සියලු ජාතීන් අතරට සිරකරුවන් මෙන් ගෙන යනු ලබනු ඇත. අන්‍ය-ජාතීන්ගේ කාල වකවානු සම්පූර්ණ වන තෙක්, අන්‍ය-ජාතීන් යෙරුසලම පයින් පාගා දමනු ඇත.</verse>
				<verse number="25">“ඉර, හඳ හා තාරකා තුළ ලකුණු දිස්වනු ඇත. මුහුදේ ඝෝෂාවත්, රළ ගැසීමත් නිසා වන වියවුලෙන් මිහි පිට සියලු ජාතීහු සංවේගයට පත් වනු ඇත.</verse>
				<verse number="26">බයින් හා ලෝකයට පහත් වෙතැයි කියන දෑ නිසා මිනිසුන්ගේ සිත් භීතියෙන් ක්ලාන්ත වනු ඇත; මන්ද අහසේ බල වස්තූන් සොලවනු ලබනු ඇත.</verse>
				<verse number="27">එකල මනුෂ්‍ය පුත්‍රයාණන් බලයෙන් හා මහත් තේජසින් යුක්තව වලාකුළක එනු ඔවුන් දකිනු ඇත.</verse>
				<verse number="28">මේවා සිදුවන්නට පටන් ගත් කල, නැගිට, ඔබේ හිස් ඔසවන්න. මන්ද ඔබේ ගැලවීම ළං ළං වී එතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="29">ඉන්පසු උන්වහන්සේ ඔවුන්ට උපමා කතාවක් කියමින්, “බලන්න, අත්තික්කා ගස දිහා; අනෙක් සියලු ගස් දිහාත්.</verse>
				<verse number="30">ඒවා දළු ලන අයුරු ඔබට දකින්නට පුළුවන්; එවිට ගිම්හාන කාලය ළඟා වී ඇති බැව්, ඔබ දන්නවා.</verse>
				<verse number="31">එසේම, මේ දේවල් සිදුවනු දකින කල දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළං වී ඇති බව ඔබ දැනගනී.</verse>
				<verse number="32">“සැබවින් ම මා ඔබට කියන්නේ, මේ හැම දේ සිදුවන තුරු මේ පරම්පරාව පහව නො යන බවයි.</verse>
				<verse number="33">අහසත්, පොළොවත් පහව යනු ඇත. එහෙත් මාගේ වචන පහව යන්නේ නැත.</verse>
				<verse number="34">“පරෙස්සම් වන්න! නැතහොත් දුරාචාරයෙන්, බේබදුකමෙන් හා ජීවිතයේ කනස්සලුවලින් ඔබේ හදවත් බර වී, ඒ දවස උගුලක් සේ හදිසියේම ඔබ පිට නො එන ලෙසට වගබලා ගන්න.</verse>
				<verse number="35">මන්ද මුළු පොළෝ තලයේ වෙසෙන සියල්ලන් පිටට එය පැමිණෙනු ඇත.</verse>
				<verse number="36">සිදුවන්නට තිබෙන ඒ සියල්ලෙන් බේරී, ගැලවී යන්නට හා මනුෂ්‍ය පුත්‍රයාණන් ඉදිරියේ සිටගන්නට හැකි වන්නට ශක්තිය ලබන පිණිස, යාච්ඤා කරමින්, නිරතුරු අවදියෙන් සිටින්නැ” යි පැවසූ සේක.</verse>
				<verse number="37">දිනපතා උන්වහන්සේ දේව මාලිගයේ ඉගැන්වූ සේක්, රැය ගත කිරීමට ඔලීව නම් වූ කන්දට පිටත්ව ගිය සේක.</verse>
				<verse number="38">අරුණ උදයේ මුළු මහත් ජනයා උන්වහන්සේට සවන් දීමට උන්වහන්සේ වෙත දේව මාලිගයට ආහ.</verse>
			</chapter>
			<chapter number="22">
				<verse number="1">පාස්කුව යනුවෙන් හැඳින්වෙන නුමුහුන් රොටි උළෙල ළං වෙමින් තිබිණි.</verse>
				<verse number="2">නායක පූජකවරු හා දහම් පඬිවරු උන්වහන්සේ මරා දමන්නේ කෙසේදැයි සෙවූහ. මන්ද ඔවුහු ජනතාවට බය වූහ.</verse>
				<verse number="3">ඒ අතර ඉස්කාරියොත් නම් වූ යූදස්ට සාතන් ආවේශ විය. ඔහු දොළොස් දෙනාගෙන් කෙනෙකි.</verse>
				<verse number="4">ඔහු පිටත්ව, නායක පූජකවරුන් හා නිලධාරීන් අතට උන්වහන්සේ පාවා දෙන්නේ කෙසේදැයි ඔවුන් සමඟ සාකච්ඡා කළේ ය.</verse>
				<verse number="5">මහත් සතුටට පත් ඔවුහු, ඔහුට මුදල් දීමට එකඟ වූහ.</verse>
				<verse number="6">ඔහු ඊට කැමතිව, ජනයා නො ගැවසෙන විටෙක ඔවුන් අතට උන්වහන්සේ පාවා දීමට සුදුසු අවස්ථාවක් ගැන සෙවිල්ලෙන් සිටියේ ය.</verse>
				<verse number="7">පාස්කු බැටළුවා පූජා කළ යුතු වූ නුමුහුන් රොටි උළෙලේ දිනය උදා විය.</verse>
				<verse number="8">යේසුස්වහන්සේ පේතෘස් හා යොහන් පිටත් කර යවමින්, “අපත් එය අනුභව කරන පිණිස, ගොසින්, අප උදෙසා පාස්කුව පිළියෙල කරන්නැ” යි කී සේක.</verse>
				<verse number="9">එවිට ඔවුහු, “ඔබට උවමනා අප එය කොතැන පිළියෙල කරනවාට දැ?” යි ඇසූහ.</verse>
				<verse number="10">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔන්න, නගරයට ඔබ ඇතුළු වූ කල, වතුර කළයක් ගෙන යන මිනිසකු ඔබට හමුවේවි. ඔහු පසුපස ගොස්, ඔහු යන ගෙදරට ඇතුල්ව,</verse>
				<verse number="11">ගෙහිමියාට කතා කොට, ‘මාගේ ගෝලයින් සමඟ පාස්කු භෝජනය වැළඳිය හැකි ආගන්තුක ශාලාව කොතැන ද කියා ගුරුතුමා ඔබෙන් අසති’ යි කියන්න.</verse>
				<verse number="12">එවිට ගෘහ භාණ්ඩ සහිත විශාල උඩු මහල් කාමරයක් ඔහු ඔබට පෙන්වනු ඇත; එහි පිළියෙල කරන්නැ” යි කී සේක.</verse>
				<verse number="13">ඔවුහු පිටත්ව, යේසුස්වහන්සේ දැන්වූ ලෙසින්ම සම්භ වූයෙන්, පාස්කුව එහි පිළියෙල කළෝ ය.</verse>
				<verse number="14">පැය පැමිණි කල, උන්වහන්සේ තම අපෝස්තුලුවරුන් සමඟ මේසයට හිඳගත් සේක.</verse>
				<verse number="15">උන්වහන්සේ ඔවුන් අමතමින්, “මා වධ විඳීමට කලින් ඔබ සමඟ මේ පාස්කුව වළඳන්නට මම අතිශයින්ම ආශා වූයෙමි.</verse>
				<verse number="16">මන්ද මා ඔබට කියන්නම්; දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි එය සම්පූර්ණ වන තෙක් මා එය වළඳන්නේ නැතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="17">උන්වහන්සේ කුසලානක් ලැබ, ස්තුතිය පුදා, “මෙය ගෙන, ඔබ අතරේ බෙදා ගන්න.</verse>
				<verse number="18">දෙවියන්වහන්සේගේ රාජ්‍යය පැමිණෙන තෙක්, මෙතැන් පටන් මා මිදි වැලේ පලයෙන් පානය නො කරන බැව් ඔබට කියමි” යි පැවසූ සේක.</verse>
				<verse number="19">උන්වහන්සේ රොටි ගෙන, ස්තුති දී, එය කඩා, ඔවුන්ට බෙදා දී, “මේ ඔබ උදෙසා දෙනු ලබන මාගේ ශරීරයයි; මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ” යි පැවසූ සේක.</verse>
				<verse number="20">භෝජනයෙන් පසු උන්වහන්සේ කුසලාන ගෙන, “මේ කුසලාන ඔබ උදෙසා වගුරුවනු ලබන මාගේ ලෙයින් වන අලුත් ගිවිසුමයි.</verse>
				<verse number="21">එහෙත් මෙන්න! මා පාවා දෙන්නාගේ අත මා සමඟ මේ මේසයේම.</verse>
				<verse number="22">මන්ද තීන්දු කර තිබූ පරිදි මනුෂ්‍ය පුත්‍රයා තම ගමන යන්නේ ය. එහෙත් උන්වහන්සේ පාවා දෙන මිනිසාට වන විපතක මහත!” යැයි පැවසූ සේක.</verse>
				<verse number="23">එය කරන්නට යන්නේ තමන් අතරින් කවුරුන්දෝයි ඔවුන් එකිනෙකා ප්‍රශ්න කරන්නට වන්හ.</verse>
				<verse number="24">තමන් අතරින් වඩාත් උත්තමයා ලෙස සැලකිය යුත්තේ කවුරුදැයි ඔවුන් අතරේ විවාදයක් ඇති විය.</verse>
				<verse number="25">උන්වහන්සේ ඔවුන් අමතමින්, “අන්‍ය-ජාතීන්ගේ රජවරු තම වැසියන්ට අධිපතිකම් පාති. ඔවුන්ට අධිපතිකම් දක්වන්නවුන් අනුග්‍රාහකයෝ යයි අමතනු ලබති.</verse>
				<verse number="26">එහෙත් ඔබ අතරේ එසේ නො වේ; ඔබ අතරේ වඩා උත්තමයා, බාලයා මෙන් ද නායකයා, සේවය කරන්නා මෙන් ද විය යුතුයි;</verse>
				<verse number="27">මන්ද වඩා උතුම් කවුරු ද? කෑමට හිඳ සිටින තැනැත්තා ද? ආවතේව කරන තැනැත්තා ද? කෑමට හිඳ සිටින්නාම නො වේ ද? එහෙත් ඔබ අතරේ මම සේවය කරන්නා මෙන් වෙමි.</verse>
				<verse number="28">මගේ පරීක්ෂාවලදී මා සමඟ සිටියේ ඔබයි.</verse>
				<verse number="29">මාගේ පියාණන්වහන්සේ මට රාජ්‍යයක් පැවරූ ලෙස, මමත් ඔබට රාජ්‍යයක් පවරන්නෙමි.</verse>
				<verse number="30">ඒ, මාගේ රාජ්‍යයේ මා හා එක මේසයේ ආහාර පාන භුක්ති විඳින පිණිස හා ඉශ්‍රායෙල් ගෝත්‍ර දොළොස විනිශ්චය කරමින්, මාගේ රාජ්‍යයේ සිංහාසන මත හිඳ ගන්නා පිණිස ය.</verse>
				<verse number="31">“සීමොන්, සීමොන්, ඔන්න! ධාන්‍ය පොළන්නාක් මෙන් නුඹලා පොළන්නට සාතන් ඉල්ලුවා.</verse>
				<verse number="32">එහෙත් නුඹේ ඇදහිල්ල නැති වී නො යන පිණිස, ඔබ උදෙසා මා යාච්ඤා කළා; ඔබ නැවත ආපසු හැරුණාම, ඔබේ සහෝදරයින් ශක්තිමත් කරන්නැ” යි පැවසූ සේක.</verse>
				<verse number="33">පේතෘස් කතා කරමින්, “ස්වාමිනි ඔබ සමඟ හිරේ යන්නටත්, මැරෙන්න යන්නටත් මා සූදානම්” යැයි උන්වහන්සේට කීවේ ය.</verse>
				<verse number="34">යේසුස්වහන්සේ කතා කරමින්, “පේතෘස්, මා ඔබට කියන්නම්, ඔබ මා හඳුනන්නේ නැතැයි තුන් වතාවක්ම කියන තුරු අද දවසේ කුකුළා හඬලන්නේ නැතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="35">උන්වහන්සේ කතා කරමින්, “මුදල් පසුම්බියක්වත්, ගමන් මල්ලක්වත්, පාවහන්වත් නැතිව මා ඔබ පිටත් කර යැවූ විට, ඔබට කිසි හිඟයක් වීදැ?” යි ඔවුන්ගෙන් ඇසූ සේක. “නැතැ” යි ඔවුහු කීහ.</verse>
				<verse number="36">උන්වහන්සේ කතා කරමින්, “එහෙත් දැන්, ඔබට පසුම්බියක් ඇත්නම් එය ගන්න. මල්ලක් ඇත්නම් එය ද ගන්න. ඔබට කඩුවක් නැතිනම්, ඔබේ සළුව විකුණා ඉන් කඩුවක් මිලදී ගන්න.</verse>
				<verse number="37">මන්ද මා ඔබට කියන්නේ, ‘උන්වහන්සේ අපරාධකරුවන් සමඟ ගණන් ගනු ලැබූ සේක’ කියා ලියා තිබෙන ශුද්ධ ලියවිල්ල මා සම්බන්ධව ඉටු විය යුතු බවයි. මන්ද මා ගැන ලියවී ඇති දෑ සම්පූර්ණ වේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="38">“ස්වාමිනි මේ බලන්න; කඩු දෙකක්ම මෙහි තියෙනවා” යි ඔවුහු කීහ. “ඒ සෑහේයැ” යි උන්වහන්සේ ඔවුන්ට පැවසූ සේක.</verse>
				<verse number="39">උන්වහන්සේ පිටතට අවුත්, පුරුදු පරිදි ඔලීව කන්දට ගිය සේක. ගෝලයෝ උන්වහන්සේ අනුව ගියහ.</verse>
				<verse number="40">එතැනට පැමිණි උන්වහන්සේ, ගෝලයින් අමතා, “පරීක්ෂාවට නො වැටෙන පිණිස යාච්ඤා කරන්නැ” යි පැවසූ සේක.</verse>
				<verse number="41">ගලක් වීසි කළ හැකි දුරක් ඔවුන් වෙතින් ඈත් වූ උන්වහන්සේ දණ ගසා යාච්ඤා කරමින්,</verse>
				<verse number="42">“පියාණෙනි, ඔබවහන්සේ කැමති සේක් නම්, මේ කුසලාන මාගෙන් ඉවත් කළ මැනව; එහෙත් මාගේ කැමැත්ත නො ව, ඔබගේ කැමැත්ත කරනු ලැබේවා!” යි පැවසූ සේක.</verse>
				<verse number="43">එවිට දේව දූතයෙක් ස්වර්ගයෙන් පහළ වී උන්වහන්සේ ශක්තිමත් කළේ ය.</verse>
				<verse number="44">සිත් සන්තාපයෙන් යුතුව උන්වහන්සේ වඩාත් ලැදියාවෙන් යාච්ඤා කළ සේක්, උන්වහන්සේගේ ඩාදිය මහත් ලේ බිඳු මෙන් බිම ඇද හැලිණි.</verse>
				<verse number="45">යාච්ඤාවෙන් නැගිට, ගෝලයින් වෙත ආ උන්වහන්සේ ඔවුන් ශෝකයෙන් බරව නිදා සිටිනු දුටු සේක.</verse>
				<verse number="46">ඔවුන් ඇමතූ උන්වහන්සේ, “ඔබ නිදා සිටින්නේ ඇයි? පරීක්ෂාවට නො වැටෙන පිණිස, නැගිට, යාච්ඤා කරන්නැ” යි පැවසූ සේක.</verse>
				<verse number="47">උන්වහන්සේ එසේ කියද්දී, දොළොස් දෙනාගෙන් කෙනකු වූ යූදස් නම් මිනිසා පෙරමුණ ගත් සමූහයක් එහි ආහ. යේසුස්වහන්සේ සිපගන්නා පිණිස ඔහු උන්වහන්සේට ළං වූයේ ය.</verse>
				<verse number="48">එහෙත් යේසුස්වහන්සේ ඔහු අමතමින්, “යූදස්, නුඹ මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙන්නේ සිඹීමෙන් දැ?” යි ඇසූ සේක.</verse>
				<verse number="49">සිදුවන්නට යන්නේ කුමක්දැයි දුටු උන්වහන්සේ වටා සිටි අය, “ස්වාමිනි, අපි කඩුවෙන් පහර දෙන්න දැ?” යි ඇසූහ.</verse>
				<verse number="50">එවිට ඔවුන්ගෙන් කෙනෙක්, උත්තම පූජකයාගේ දාසයාගේ දකුණු කන කැපෙන්නට ගැසී ය.</verse>
				<verse number="51">එවිට “තවත් එපා!” යි කී යේසුස්වහන්සේ ඔහුගේ කන ස්පර්ශ කර, එය සුව කළ සේක.</verse>
				<verse number="52">තමන්ට එරෙහිව පැමිණි නායක පූජකයින්, දේව මාලිග නිලධාරීන් හා වැඩිහිටියන් ඇමතූ යේසුස්වහන්සේ, “මංකොල්ලකරුවකුට එරෙහිව මෙන් නුඹලා කඩු මුගුරු අරන් ආවා ද?</verse>
				<verse number="53">මා දිනපතා දේව මාලිගයේ නුඹලා සමඟ සිටියදී, නුඹලා මා පිට අත් හෙළුවේ නෑ. ඒත්, මේ නුඹලාගේ පැයයි. අන්ධකාරයේ බලයයි” කී සේක.</verse>
				<verse number="54">ඔවුහු උන්වහන්සේ අල්ලා, පිටතට ගෙන යමින්, උත්තම පූජක මැදුර වෙත උන්වහන්සේ ගෙන ගියහ. පේතෘස් මදක් දුරින් ඒ පසුපසින් ගියේ ය.</verse>
				<verse number="55">ඔවුහු පූජක මැදුරු මළුව මැද ගිනි මැලයක් දල්වා, ඒ වටා එක්ව හිඳ සිටියදී, පේතෘස් ද ඔවුන් අතර හිඳ ගත්තේ ය.</verse>
				<verse number="56">ඔහු එහි හිඳ සිටිනු ගිනි එළියට දුටු එක් සේවිකාවක් ඔහු දෙස ළං වී බලා, “මේ මිනිහත් ඔහු සමඟ සිටියා” යි කීවා ය.</verse>
				<verse number="57">එහෙත් ඒ කීම ප්‍රතික්ෂේප කළ පේතෘස්, “ස්ත්‍රිය, මම ඔහු අඳුනන්නේ නැහැ” යි කීවේ ය.</verse>
				<verse number="58">මඳ වේලාවකට පසු තවත් කෙනෙක් ඔහු දැක, “නුඹත් ඔවුන්ගෙන් කෙනෙකැ” යි කීවේ ය. එහෙත් පේතෘස්, “මා ඒ කෙනෙක් නො වෙයි මනුස්සයෝ!” යි කීවේ ය.</verse>
				<verse number="59">ඉන් පැයකට පමණ පසු තවත් කෙනෙක්, “සැබවින් ම මොහුත් ඔහු සමඟ සිටියා; මොකද මොහු ගලීලයෙකැ” යි තරයේ කියා සිටියේ ය.</verse>
				<verse number="60">එහෙත් පේතෘස්, “මිනිහෝ, ඔබ මොනවා දොඩවනවාදැයි මා දන්නේ නැතැ” යි කීවේ ය. ඔහු එසේ කියද්දීම, එකෙණෙහිම කුකුළා හැඬලී ය.</verse>
				<verse number="61">එවිට ස්වාමින්වහන්සේ හැරී, එක එල්ලේ පේතෘස් දෙස බැලූ සේක. එකල, “අද කුකුළා හඬලන්නට පෙර තුන් වරක් ඔබ මා නාඳුනමි” යි ස්වාමින්වහන්සේ තමාට කී වචන සිහි කළ පේතෘස්,</verse>
				<verse number="62">එතැනින් බැහැරව, පිටතට ගොස්, දැඩි සංවේගයෙන් හැඬී ය.</verse>
				<verse number="63">මේ අතර යේසුස්වහන්සේ අත්අඩංගුවේ රඳවාගෙන සිටි මිනිස්සු උන්වහන්සේට පහර දෙමින්, අවමන් කරන්නට වන්හ.</verse>
				<verse number="64">ඔවුහු උන්වහන්සේගේ ඇස් බැඳ, “නුඹට පහර දෙන්නේ කවුරු ද? හා, දිවැසින් කියාපන්” යැයි කීහ.</verse>
				<verse number="65">මෙසේ ඔවුහු තවත් නොයෙක් දෑ කියමින් උන්වහන්සේට අපහාස කළහ.</verse>
				<verse number="66">දවස උදා වූ කල ජනතා වැඩිහිටි සභාව, නායක පූජකවරු හා දහම් පඬිවරු එකට රැස් වූහ. ඔවුන්ගේ මන්ත්‍රණ සභාව ඉදිරියට යේසුස්වහන්සේ පමුණුවන ලදින්, ඔවුහු කතා කරමින්,</verse>
				<verse number="67">“ඔබ ක්‍රිස්තුස්වහන්සේ නම්, අපට කියන්නැ” යි කීහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා ඔබට කීවත් ඔබ විශ්වාස කරන්නේ නෑ.</verse>
				<verse number="68">මා ඔබෙන් ඇසුවත් ඔබ උත්තර දෙන්නේ නෑ.</verse>
				<verse number="69">එහෙත් මෙතැන් පටන් මනුෂ්‍ය පුත්‍රයාණන් දෙවියන්වහන්සේගේ පරාක්‍රමයේ දකුණු පස අසුන් ගෙන හිඳිනවා ඇතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="70">“එසේ නම් ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් දැ?” යි එවිට ඔවුහු සියල්ලෝ ඇසුවෝ ය. “ඒ මම ය කියා ඔබ කියනවා යැ” යි උන්වහන්සේ කී සේක.</verse>
				<verse number="71">එවිට ඔවුහු, “තවත් සාක්ෂි අපට කුමට ද? ඔහුගේම කටින් අපි එය ඇසීමු” යි පැවසූහ.</verse>
			</chapter>
			<chapter number="23">
				<verse number="1">ඉන්පසු ඔවුන්ගේ මුළු සමූහයා නැගිට, පිලාත් වෙත උන්වහන්සේ ගෙන ගියහ.</verse>
				<verse number="2">එහිදී ඔවුහු උන්වහන්සේට විරුද්ධව චෝදනා කරමින්, “මේ මිනිහා අපේ ජාතිය නොමග යවන බවත්, සීසර්ට බදු ගෙවීම අපට තහනම් කරන වගත්, තමා ක්‍රිස්තුස් නම් රජෙක්ය කියා ගන්නා බවත් අප දැන ගත්තා” යි කීහ.</verse>
				<verse number="3">පිලාත් උන්වහන්සේගෙන් ප්‍රශ්න කරමින්, “ඔබ යුදෙව්වන්ගේ රජ දැ?” යි ඇසුවේ ය. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ එසේ කියනවා” යි කී සේක.</verse>
				<verse number="4">එවිට පිලාත් නායක පූජකයින් හා සමූහයා අමතා, “මේ මිනිහා අත වරදක් මට නො පෙනේ යැ” යි ප්‍රකාශ කළේ ය.</verse>
				<verse number="5">එහෙත් ඔවුහු උදක්ම බල කරමින්, “ඔහු ගලීලයේ සිට මෙතැන් දක්වා මුළු යුදය පුරා උගන්වමින් ජනයා කලඹවතැ” යි කීහ.</verse>
				<verse number="6">ඒ ඇසූ පිලාත් ඒ මනුෂ්‍යයා ගලීලයෙක්දැයි ඇසී ය.</verse>
				<verse number="7">උන්වහන්සේ අයත් වන්නේ, හෙරෝද්ගේ අධිකරණ වසමට බැව් දැනගත් පිලාත් හෙරෝද් වෙත උන්වහන්සේ යැවී ය. ඔහු ඒ දවස්වල සිටියේ යෙරුසලම්හි ය.</verse>
				<verse number="8">යේසුස්වහන්සේ දුටු හෙරෝද් බෙහෙවින් සතුටු විය. මන්ද උන්වහන්සේ දැකීමට කලෙක පටන් ඔහු ආශාවෙන් සිටියේ ය. උන්වහන්සේ පිළිබඳව අසා තිබූ දෑ අනුව උන්වහන්සේ යම් හාස්කමක් කරනු දැකීමට ඔහු බලාපොරොත්තුව සිටියේ ය.</verse>
				<verse number="9">ඔහු උන්වහන්සේගෙන් කොතෙකුත් ප්‍රශ්න කළ නමුත්, උන්වහන්සේ කිසි පිළිතුරක් නො දුන් සේක.</verse>
				<verse number="10">නායක පූජකවරු හා දහම් පඬිවරු පසෙක සිටගෙන, උන්වහන්සේට විරුද්ධව තදබල චෝදනා කළහ.</verse>
				<verse number="11">එවිට හෙරෝද් හා ඔහුගේ හේවායෝ යේසුස්වහන්සේ හෑල්ලු කොට සලකා, උන්වහන්සේට නිග්‍රහ කොට, සමච්චල් කළහ. පසුව ඔහු උන්වහන්සේට දිළිසෙන ලෝගුවක් අඳවා, යළි පිලාත් වෙත පිටත් කර හැරියේ ය.</verse>
				<verse number="12">කලක් එකිනෙකාට සතුරුව සිටි හෙරෝද් හා පිලාත් ඒ දවසේම මිත්‍ර වූහ.</verse>
				<verse number="13">නායක පූජකයින්, ජන ප්‍රධානීන් හා සෙසු ජනයා රැස්කර වූ පිලාත්,</verse>
				<verse number="14">ඔවුන් අමතමින්, “නුඹලා මේ මිනිහා මා වෙත ගෙනාවේ ජනයා නොමගට පොළඹවන්නෙක් ය කියායි. නුඹලා ඉදිරිපිටම ඔහු විභාග කිරීමෙන්, ඔහුට එරෙහිව නුඹලා නගන චෝදනාවලට ඔහු වරදකරුවෙකැයි මට පෙනෙන්නේ නෑ.</verse>
				<verse number="15">හෙරෝද්ට ද එහෙම පෙනෙන්නේ නෑ; මේ මිනිසා නැවත අප වෙත එවා ඇත්තේ එනිසයි. පෙනෙනවා ද! මරණ දඬුවමට තරම් වරදක් ඔහු කර නෑ.</verse>
				<verse number="16">එනිසා ඔහුට දඬුවම් කර, මා ඔහු නිදහස් කරනවා” යි කීවේ ය.</verse>
				<verse number="17">ඒ මංගල්‍යයේදී ඔහු විසින් එක් සිරකරුවකු නිදහස් කරදෙන සිරිතක් විය.</verse>
				<verse number="18">එවිට ඔවුහු එක් හඬින් මොර ගසමින්, “මේ මිනිහා තුරන් කරනු. අපට බරබ්බස් නිදහස් කර දෙනු!” යි හඬ නැඟූහ.</verse>
				<verse number="19">(මෙම බරබ්බස් නගරයෙහි වූ කැරලි ගැසීමක් හා මිනීමැරීමක් සම්බන්ධව සිරගත කරන ලද්දෙකි.)</verse>
				<verse number="20">යේසුස්වහන්සේ නිදහස් කිරීමට කැමැත්තෙන් පිලාත් නැවතත් පිරිස ඇමතී ය.</verse>
				<verse number="21">එහෙත් ඔවුහු, “කුරුසියේ ඇණ ගසනු! ඔහු කුරුසියේ ඇණ ගසනු!” යි කෑ ගැසූහ.</verse>
				<verse number="22">පිලාත් තුන් වන වරටත් ඔවුන්ට කතා කරමින්, “කිමෙක් ද? මොහු මොන අපරාධයක් කළාට ද? මරණයට සුදුසු අපරාධයක් ඔහු අත මට හමු වුණේ නෑ. එබැවින් මම ඔහුට දඬුවම් කර, ඔහු නිදහස් කරනවා” යි කීවේ ය.</verse>
				<verse number="23">එහෙත් ඔවුහු වඩ වඩා හඬ නඟමින්, උන්වහන්සේ කුරුසිපත් කරන්නට බල කළහ. ඔවුන්ගේ ඝෝෂාවට ජය අත්විණි.</verse>
				<verse number="24">ඔවුන්ගේ ඉල්ලීම ඉටු කිරීමට පිලාත් තීරණය කළේ ය.</verse>
				<verse number="25">කැරලි ගැසීමට හා මිනීමැරීමට සිරගත කර සිටි මිනිසා ඔවුන්ගේ ඉල්ලීම අනුව නිදහස් කළ පිලාත්, ඔවුන්ගේ කැමැත්තට යේසුස්වහන්සේ පාවා දුන්නේ ය.</verse>
				<verse number="26">ඔවුහු උන්වහන්සේ පිටතට ගෙන යද්දී, ගම්බද සිට එමින් සිටි සිරේනියායනු සීමොන් අල්ලා, කුරුසිය ඔහු පිට තබා, යේසුස්වහන්සේ පසුපසින් එය උසුලාගෙන යෑමට සැලැස්සූහ.</verse>
				<verse number="27">විශාල ජනකායක් ද උන්වහන්සේ ගැන හඬා වැලපුණු ස්ත්‍රීහු ද උන්වහන්සේ පසුපස ගියහ.</verse>
				<verse number="28">යේසුස්වහන්සේ ඔවුන් දෙස හැරී, “යෙරුසලමේ දූවරුනි, මා නිසා නො හඬන්න; ඔබ නිසාත්, ඔබේ දරුවන් නිසාත් හඬන්න.</verse>
				<verse number="29">මන්ද ‘වඳ ස්ත්‍රීන් ද දරුවන් නො දැරූ කුස ද කිරි නො පෙව් පියයුරු ද ආශිර්වාදිත ය!’ කියන දවස් උදා වනු ඇත.</verse>
				<verse number="30">එවිට “ ‘ඔවුහු, “අප පිට වැටෙනු!” කියා කඳුවලට ද “අප වසාගනු!” යි හෙල්වලට ද කියනු ඇත.’</verse>
				<verse number="31">මන්ද ඔවුහු අමු ගහට මෙසේ කළෝ නම්, වියළි ගහට කෙසේ කරනු ඇද්දැ?” යි පැවසූ සේක.</verse>
				<verse number="32">අපරාධකරුවන් වූ තවත් මිනිසුන් දෙදෙනෙක් ද මරා දමන පිණිස, උන්වහන්සේ සමඟ ගෙන යන ලදහ.</verse>
				<verse number="33">ගොල්ගොතා නමින් හැඳින්වෙන හිස්කබල නම් ස්ථානයට පැමිණි ඔවුහු, එහිදී උන්වහන්සේ කුරුසියේ ඇණ ගැසූහ. අපරාධකරුවන් දෙදෙනා ද එක් කෙනෙක් උන්වහන්සේගේ දකුණු පස ද අනෙකා උන්වහන්සේගේ වම් පස ද කුරුසිපත් කරන ලදහ.</verse>
				<verse number="34">එවිට යේසුස්වහන්සේ, “පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනවි. මන්ද තමන් කරන්නේ කුමක්දැයි ඔවුහු නො දනිති” යි පැවසූ සේක. උන්වහන්සේගේ වස්ත්‍ර බෙදා ගන්නට ඔවුහු දාදු දැමූහ.</verse>
				<verse number="35">උන්වහන්සේ එල්ලා සිටින අයුරු ජනයා බලා සිටියහ. එහෙත් ප්‍රධානීහු උන්වහන්සේට ගැරහුම් කරමින්, “ඔහු අනුන් ගැලෙව්වා. ඔහු දෙවියන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේ නම්, උන්වහන්සේගේ තෝරාගත් තැනැත්තා නම්, ඔහු තමාම ගලවා ගනීවා!” යි කීහ.</verse>
				<verse number="36">හේවායෝ ද අවුත්, මිදි යුෂ විනාකිරි පිළිගන්වමින්, උන්වහන්සේට නින්දා-ගැරහුම් කරමින්,</verse>
				<verse number="37">“නුඹ යුදෙව්වන්ගේ රජ නම් නුඹම ගලවා ගනින්” යැයි කීහ.</verse>
				<verse number="38">උන්වහන්සේගේ හිසට ඉහළින් මෙසේ සඳහන් නාම පුවරුවක් විය. යුදෙව්වන්ගේ රජු මොහු ය.</verse>
				<verse number="39">එල්ලා සිටි එක් අපරාධකරුවෙක් යේසුස්වහන්සේට නින්දා අපහාස කරමින්, “නුඹ ක්‍රිස්තුස් නො වේ ද? නුඹත් ගැලවී අපත් ගලවා ගනින්” යැයි කීවේ ය.</verse>
				<verse number="40">එහෙත් අනෙක් අපරාධකරු ඔහුට තරවටු කරමින්, “එකම දඬුවමක් ලබා සිටියදීත් නුඹ දෙවියන්වහන්සේට බය නැද්ද?</verse>
				<verse number="41">අප දඬුවම් ලබා ඇත්තේ යුක්ති සහගතවයි. අප විඳින්නේ අපම කළ දේවල පල විපාකයි. එනමුත් මේ මනුෂ්‍යයා කර ඇති වරදක් නැතැ” යි කීවේ ය.</verse>
				<verse number="42">ඉන්පසු ඔහු, “යේසුස්වහන්ස, ඔබ, ඔබගේ රාජ්‍යයට එන කල, මා සිහි කරන්නැ” යි කීවේ ය.</verse>
				<verse number="43">උන්වහන්සේ ඔහු අමතමින්, “සැබවින් ම මම ඔබට කියන්නම්; අද දවසේම ඔබ මා සමඟ පාරාදීසයෙහි සිටිනු ඇතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="44">ඒ හයවන පැය පමණ විය. නව වන පැය දක්වාම දේශය මුළුල්ලේ අන්ධකාරයක් විය.</verse>
				<verse number="45">හිරු එළිය අඳුරු විය. දේව මාලිගයේ තිරය දෙකඩව පැළිණි.</verse>
				<verse number="46">යේසුස්වහන්සේ උස් හඬ නඟමින්, “පියාණන්වහන්ස, ඔබවහන්සේගේ දෝතට මගේ ආත්මය බාර දෙමි” යි පැවසූ සේක. එසේ පවසා උන්වහන්සේ අවසන් හුස්ම හෙළූ සේක.</verse>
				<verse number="47">සිදු වූ දේ දුටු සියයේ සේනාධිපතියා දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්, “නිසැකයෙන්ම මේ මිනිසා නිදොස් කෙනෙකැ” යි පැවසී ය.</verse>
				<verse number="48">මෙම දර්ශනය නැරඹීමට රැස් වූ මුළු ජනයා සිදු වූ දේ දැක, තම තමන්ගේ ළයට ගසා ගනිමින්, ආපසු ගියහ.</verse>
				<verse number="49">එහෙත් ගලීලයේ සිට උන්වහන්සේ පසුපස පැමිණි ස්ත්‍රීන් ඇතුළු උන්වහන්සේ දැන සිටි සියල්ලෝ මදක් ඈතින් සිට මේ දේවල් බලා සිටියහ.</verse>
				<verse number="50">යුදෙව් නුවරක් වූ අරමාතියාහි ගුණවත්, දමිටු පුද්ගලයෙක් වූ යෝසෙප් නම් මිනිසෙක් සිටියේ ය. යුදෙව් මන්ත්‍රණ සභිකයකු වුව ද, ඔහු</verse>
				<verse number="51">ඔවුන්ගේ තීරණය හා ක්‍රියා කලාපය අනුමත කළේ නැත. ඔහු දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන අපේක්ෂාවෙන් සිටි කෙනෙකි.</verse>
				<verse number="52">මේ මිනිසා පිලාත් වෙත ගොස්, යේසුස්වහන්සේගේ දේහය ඉල්ලුවේ ය.</verse>
				<verse number="53">පසුව ඔහු දේහය බාවා, සිහින් හණ රෙද්දකින් ඔතා, සොහොනක තැන්පත් කළේ ය. එය ගලක් කැණ, ඒ වන තෙක් කිසිවකුත් තැන්පත් නො කරන ලද එකකි.</verse>
				<verse number="54">ඒ සූදානම් වීමේ දවසයි. සබත ද ඇරඹෙමින් තිබිණි.</verse>
				<verse number="55">ගලීලයේ සිට පැමිණි ස්ත්‍රීහු ද ගොස්, සොහොනත්, උන්වහන්සේගේ දේහය තැන්පත් කළ අයුරුත් දැක බලා ගත්හ.</verse>
				<verse number="56">ඉන්පසු ආපසු ගිය ඔවුහු, සුවඳ ද්‍රව්‍ය හා විලේපන පිළියෙල කළෝ ය. එහෙත් සබතේදී ඔවුහු ආඥාව පරිදි විවේක ගත්හ.</verse>
			</chapter>
			<chapter number="24">
				<verse number="1">තමන් පිළියෙල කර ගත් සුවඳ ද්‍රව්‍ය ද ගෙන, සතියේ පළමු දින අරුණ උදෙන්, සොහොන් ලෙන වෙත ගිය ඔවුහු,</verse>
				<verse number="2">ගල ඉවත පෙරළා තිබෙනු දුටහ.</verse>
				<verse number="3">ඔවුහු ලෙන තුළට ගිය කල, යේසුස් ස්වාමින්වහන්සේගේ දේහය ඒ තුළ දුටුවේ නැත.</verse>
				<verse number="4">ඔවුන් ඒ ගැන වියවුල්ව සිටියදී, මෙන්න! හදිසියේම, කාන්තිමත් වස්ත්‍රයෙන් යුතු මිනිසුන් දෙදෙනෙක් ඔවුන් පසෙකින් සිටගෙන!</verse>
				<verse number="5">ඉන් බය වූ ඔවුන් තම මුහුණු බිමට නමාගනිද්දී, ඔවුන් ඇමතූ ඒ මිනිස්සු, “නුඹලා මළවුන් අතර ජීවතුන් සොයන්නේ මොකද?</verse>
				<verse number="6">උන්වහන්සේ මෙහි නැත; උන්වහන්සේ නැගුටුණු සේක. උන්වහන්සේ ගලීලයේ සිටියදී නුඹලාට කී දේ මතක් කරන්න. එනම්,</verse>
				<verse number="7">‘මනුෂ්‍ය පුත්‍රයාණන් පව්කාර මිනිසුන්ගේ අත්වලට බාර දෙනු ලබන්නටත්, කුරුසිපත් කරනු ලබන්නටත්, තුන් වන දවසේ නැගිටින්නටත් යුතු ය’ යනුයි” කීහ.</verse>
				<verse number="8">එවිට උන්වහන්සේගේ වචන ඔවුන්ට මතක් විණි.</verse>
				<verse number="9">සොහොන වෙතින් ආපසු පැමිණි ඔවුහු, සියලු පුවත් එකොළොස් දෙනාටත්, අනෙක් සැමටත් සැල කළහ.</verse>
				<verse number="10">අපෝස්තුලුවරුන්ට මේ දෑ කීවේ, මග්දලායේ මරියා, යොවන්නා, යාකොබ්ගේ මව වූ මරියා හා ඔවුන් සමඟ සිටි අනෙක් ස්ත්‍රීන් ය.</verse>
				<verse number="11">එහෙත් ඒ ස්ත්‍රීන් කී දේ ඔවුන් විශ්වාස කළේ නැත. ඒ කියමන් ඔවුන්ට පෙනුණේ හිස් ප්‍රලාප ලෙසිනි.</verse>
				<verse number="12">එහෙත් පේතෘස් සොහොන වෙත දුව ගොස්, එබී බලා, හණ රෙදි වෙළුම පමණක් පසෙක තිබෙනු දැක, කුමක් සිදු වීදැයි පුදුමයෙන් ආපසු ගියේ ය.</verse>
				<verse number="13">එදිනම ඔවුන්ගෙන් දෙදෙනෙක් යෙරුසලමේ සිට කිලෝමීටර් එකොළහක පමණ දුරින් පිහිටි එම්මාවුස් නම් ගමට යමින් සිටියහ.</verse>
				<verse number="14">ඔවුන් ගමන් කළේ සිදු වූ හැම සිදුවීමක් ගැන කතා කරමිනි.</verse>
				<verse number="15">මෙසේ ඔවුන් කතා කරමින්, සාකච්ඡා කරමින් යද්දී යේසුස්වහන්සේ ඔවුන් වෙත ළඟා වී, ඔවුන් සමඟ ගමන් ගත් සේක.</verse>
				<verse number="16">එහෙත් උන්වහන්සේ හැඳින ගැනීම ඔවුන්ගේ ඇස්වලින් වළක්වා තිබිණි.</verse>
				<verse number="17">“ඔබ මේ ගමන් කරන අතරේ කතා කරමින් යන්නේ කුමක් ගැන දැ?” යි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ඔවුහු දුක්බර මුහුණින් නිශ්චලව නැවතුණහ;</verse>
				<verse number="18">ඒ දෙදෙනාගෙන් ක්ලියොපස් නැමැත්තා පිළිතුරු දෙමින්, “මේ දවස්වල යෙරුසලමේ සිදුවන දෑ ගැන නො දැන සිටින එකම ආගන්තුකයා ඔබදැ?” යි ඇසී ය.</verse>
				<verse number="19">“මොන සිදුවීම් දැ?” යි උන්වහන්සේ ඇසූ සේක. ඔවුහු කතා කරමින්, “ඇයි, නාසරෙත්හි යේසුස්වහන්සේ ගැන; එතුමා දෙවියන්වහන්සේ හා මුළු ජනතාව ඉදිරියේ ක්‍රියාවෙන් හා වචනයෙන් බලවත්ව සිටි දිවැසිවරයෙක්.</verse>
				<verse number="20">අපේ නායක පූජකයෝ හා පාලකයෝ මරණ දඬුවමට එතුමා පවා දී, කුරුසියේ ඇණ ගැසුවා.</verse>
				<verse number="21">එහෙත් අපේ බලාපොරොත්තුව වූයේ ඉශ්‍රායෙල් ගලවා ගන්නට සිටියේ මෙතුමාණන් කියායි. ඒ හැම දේට වඩා මේ දෑ සිදු වී අදට දවස් තුනයි.</verse>
				<verse number="22">ඒ හැර අපේ කණ්ඩායමේ ස්ත්‍රීන් කිහිප දෙනෙක් අද අප පුදුමයට පත් කළා; උදේ පාන්දරින්ම ඔවුන් සොහොන වෙත ගිය නමුත්,</verse>
				<verse number="23">එතුමන්ගේ සිරුර එහිදී ඔවුන්ට හමු වී නැහැ. ඔවුන් ආපසු පැමිණ අපට කීවේ, එතුමාණන් ජීවත් වන්නේ යයි පැවසූ දේව දූතයින් ඔවුන්ට දර්ශන වූ බවයි.</verse>
				<verse number="24">එවිට අප සමඟ සිටි කීප දෙනෙක් සොහොන වෙත ගිය විට, හරියටම ඒ ස්ත්‍රීන් කී ලෙසම දැක ඇති නමුත් එතුමාණන් දකින්නට ලැබී නැතැ” යි පැවසූහ.</verse>
				<verse number="25">එවිට උන්වහන්සේ ඔවුන් අමතමින්, “අහෝ! බුද්ධි හීන වූත්, දිවැසිවරුන් පැවසූ සියල්ල විශ්වාස කරන්නට ප්‍රමාද වූත් තැනැත්තෙනි,</verse>
				<verse number="26">ක්‍රිස්තුස්වහන්සේ ඒ දේවල් විඳ, ඉන්පසු තේජසට පත් වන්නට තිබුණා නො වේ දැ?” යි පවසා,</verse>
				<verse number="27">මෝසෙස්ගෙන් හා සියලු දිවැසිවරුන්ගෙන් පටන් ශුද්ධ ලියවිලිවල තමන්වහන්සේ ගැන වූ සියලු දෑ පැහැදිලි කළ සේක.</verse>
				<verse number="28">ඔවුහු තමන් යමින් සිටි ගමට ළඟා වූහ. එහෙත් උන්වහන්සේ තවත් දුර යන නියා ඇඟවූ සේක.</verse>
				<verse number="29">එවිට ඔවුහු වඩාත් පෙරැත්ත කරමින්, “අප සමඟ නවතින්න. දැන් සවස් වේගන එනවා; දවස හොඳටම ගෙවී ගොසිනැ” යි කීහ. එබැවින් උන්වහන්සේ ඔවුන් සමඟ නවතින්නට ඇතුළට ගිය සේක.</verse>
				<verse number="30">පසුව උන්වහන්සේ ඔවුන් සමඟ කෑමට හිඳ, රොටි ගෙන, ඊට ආශිර්වාද කර, එය කඩා, ඔවුන්ට දුන් සේක.</verse>
				<verse number="31">එවිට ඔවුන්ගේ ඇස් ඇරී, ඔවුහු උන්වහන්සේ හැඳින ගත්හ. එහෙත් උන්වහන්සේ ඔවුන්ගේ දෘෂ්ටියෙන් අතුරුදහන් වූ සේක.</verse>
				<verse number="32">එවිට ඔවුහු එකිනෙකා අමතමින්, “උන්වහන්සේ මග එමින් අපට කතා කරමින්, ශුද්ධ ලියවිලි පහදා දෙද්දී අපගේ සිත් දෑවා නො වේ දැ!” යි කීහ.</verse>
				<verse number="33">ඔවුහු ඒ පැයේදීම නැගිට, යෙරුසලමට ආපසු ආහ. එහිදී ඔවුන්ට දක්නට ලැබුණේ එකොළොස් දෙනා හා ඔවුන් සමඟ වූ සෙසු අය එක් රැස්ව,</verse>
				<verse number="34">“එය ඇත්තයි! ස්වාමින්වහන්සේ නැවත නැගිටලා. උන්වහන්සේ සීමොන්ට පෙනී ඇතැ” යි කියන අයුරු ය.</verse>
				<verse number="35">එවිට ඔවුහු දෙදෙනා ද තමන් ගමන් කරද්දී සිදු වූ දෑ ද රොටි කඩද්දී තමන් උන්වහන්සේ හැඳිනගත් අයුරු ද පැවසූහ.</verse>
				<verse number="36">ඔවුන් මේ දෑ ගැන කතා කරමින් සිටියදී, යේසුස්වහන්සේ ඔවුන් මැද සිටගෙන, “ඔබට සාමය වේවා!” යි කී සේක.</verse>
				<verse number="37">තමන් අවතාරයක් දකිතැයි සිතූ ඔවුහු ත්‍රාසයටත්, භීතියටත් පත් වූහ.</verse>
				<verse number="38">උන්වහන්සේ ඔවුන් අමතමින්, “මොකද ඔබ කැලඹිලා? ඔබේ සිත්වල සැකයක් නැගෙන්නේ ඇයි?</verse>
				<verse number="39">බලන්න, මගේ අත් හා මගේ පාද; සැබවින් ම මේ මමයි. මා ස්පර්ශ කර බලන්න. මන්ද ඔබට පෙනෙන පරිදි, මස් හා ඇට මට තියෙන ලෙස, අවතාරයකට ඒවා නැතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="40">එසේ පැවසූ උන්වහන්සේ තම අත් හා පා ඔවුන්ට පෙන්වූ සේක.</verse>
				<verse number="41">ප්‍රීතිය නිසා තවමත් විශ්වාස කළ නො හැකිව, ඔවුන් විස්මයෙන් සිටියදී, උන්වහන්සේ ඔවුන් අමතමින්, “කෑමට යමක් මෙහි ඔබ ළඟ තියෙනවා දැ?” යි ඇසූ සේක.</verse>
				<verse number="42">පුලුස්සන ලද මාළු කැබැල්ලක් ඔවුහු උන්වහන්සේට දුන්හ.</verse>
				<verse number="43">උන්වහන්සේ එය ගෙන, ඔවුන් ඉදිරියේම කෑ සේක.</verse>
				<verse number="44">උන්වහන්සේ යළි ඔවුන් අමතමින්, “මෝස‍ෙස්ගේ දහම් නීති සංග්‍රහයේත්, දිවැසිවරුන්ගේත්, ගීතාවලියෙත් මා ගැන ලියවුණු හැම දෙයක්ම ඉෂ්ට විය යුතු ය කියා ඔබ හා සිටියදී මා කී වචන මේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="45">ඉන්පසු ශුද්ධ ලියවිලි වටහා ගත හැකි වන සේ ඔවුන්ගේ මනස විවර කළ උන්වහන්සේ,</verse>
				<verse number="46">ඔවුන් අමතමින්, “ලියා තිබෙන්නේ මෙලෙසයි: ‘ක්‍රිස්තුස්වහන්සේ වධ-විඳින්ටත්, තුන් වන දවසේ මළවුන්ගෙන් නැගිටින්නටත් යුතුව ඇත.</verse>
				<verse number="47">යෙරුසලමෙන් පටන් ගෙන සෑම ජාතියකටම උන්වහන්සේගේ නාමයෙන් පසුතැවිල්ලත්, පාප කමාවත් ප්‍රකාශ කරන්නටත් යුතුව ඇත’ යනුවෙනි.</verse>
				<verse number="48">මේ දේවලට සාක්ෂිකරුවෝ ඔබයි.</verse>
				<verse number="49">මෙන්න! මම මාගේ පියාණන්වහන්සේගේ පොරොන්දුව ඔබ වෙතට එවන්නෙමි. එහෙත් ඉහළින් එන බලයෙන් ඔබ සරසනු ලබන තෙක්, පුරවරය තුළම නැවතී සිටින්නැ” යි පැවසූ සේක.</verse>
				<verse number="50">ඉන්පසු බෙතානිය දක්වා ඔවුන් කැඳවාගෙන ගිය උන්වහන්සේ, ස්වකීය අත් ඔසවා ඔවුන්ට ආශිර්වාද කළ සේක.</verse>
				<verse number="51">එසේ ආශිර්වාද කරද්දීම, ඔවුන් වෙතින් වෙන් වූ උන්වහන්සේ ස්වර්ගයට ඔසවා ගනු ලැබූ සේක.</verse>
				<verse number="52">උන්වහන්සේට නමස්කාර කර, මහත් ප්‍රීතියෙන් යෙරුසලමට හැරී ආ ඔවුහු</verse>
				<verse number="53">දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින් දිගටම දේව මාලිගයේ සිටියහ.</verse>
			</chapter>
		</book>
		<book number="43">
			<chapter number="1">
				<verse number="1">මූලාරම්භයේදී වචනයාණෝ සිටි සේක. වචනයාණෝ දෙවියන්වහන්සේ සමඟ සිටි සේක; වචනයාණෝ දෙවියන්වහන්සේව සිටි සේක;</verse>
				<verse number="2">උන්වහන්සේ මූලාරම්භයේ දෙවියන්වහන්සේ සමඟ වූ සේක.</verse>
				<verse number="3">සියල්ල මවන ලද්දේ උන්වහන්සේ මඟිනි; මවන ලද කිසිවක් උන්වහන්සේගෙන් තොරව මවනු නො ලැබුණි.</verse>
				<verse number="4">ජීවනය උන්වහන්සේ තුළ විය. ඒ ජීවනය මිනිස් වර්ගයාගේ ආලෝකයයි.</verse>
				<verse number="5">ඒ ආලෝකය අන්ධකාරයේ බබළයි; අන්ධකාරය එය යටපත් කළේ නැත.</verse>
				<verse number="6">දෙවියන්වහන්සේ විසින් එවන ලද මනුෂ්‍යයෙක් විය; ඔහුගේ නම යොහන් ය.</verse>
				<verse number="7">ඔහු පැමිණියේ ඔහු මඟින් සියලු මිනිසුන් අදහා ගන්නා පිණිස ඒ ආලෝකය ගැන සාක්ෂි දෙන්නට සාක්ෂිකරුවකු ලෙස ය.</verse>
				<verse number="8">ඔහු ඒ ආලෝකය නො වේ; ඔහු පැමිණියේ ඒ ආලෝකයේ සාක්ෂිකරුවකු ලෙස පමණි.</verse>
				<verse number="9">හැම මනුෂ්‍යයකුටම ආලෝකය දෙන සත්‍ය ආලෝකය, ලෝකයට එන්නට තිබුණේ ය.</verse>
				<verse number="10">උන්වහන්සේ ලෝකයේ සිටි සේක; ලෝකය මවන ලද්දේ උන්වහන්සේ මඟින් වුව ද, ලෝකයා උන්වහන්සේ හැඳින ගත්තේ නැත.</verse>
				<verse number="11">උන්වහන්සේ ස්වකීය ජනයා වෙත පැමිණි සේක; එහෙත් ස්වකීයයෝ උන්වහන්සේ නො පිළිගත්තෝ ය.</verse>
				<verse number="12">එසේ වුවත්, උන්වහන්සේ පිළිගත් සියල්ලනට, උන්වහන්සේගේ නාමය තුළ අදහාගත් අයට දෙවියන්වහන්සේගේ දරුවන් වීමට උන්වහන්සේ වර දුන් සේක.</verse>
				<verse number="13">ඔවුහු ලෙයින්වත්, මාංසයේ කැමැත්තෙන්වත්, මනුෂ්‍යයාගේ කැමැත්තෙන්වත් නො ව, දෙවියන්වහන්සේගෙන් උපත ලද්දෝ ය.</verse>
				<verse number="14">වචනයාණෝ මාංසය බවට පත්ව අප අතර වාසය කළ සේක; අනුග්‍රහයෙන් හා සත්‍යයෙන් පූර්ණ වූ උන්වහන්සේගේ තේජෝ මහිමය, පියාණන්වහන්සේ වෙතින් පැමිණි එකම පුතුණුවන්ගේ තේජෝ මහිමය අපි දුටුවෙමු.</verse>
				<verse number="15">යොහන් උන්වහන්සේ ගැන සාක්ෂි දරමින්, “ ‘මට පළමුවෙන් සිටි බැවින්, මට වඩා උත්තමයකු මට පසුව එතැ’ යි මා කීවේ මෙතුමාණන් ගැන යැ” යි මොර ගැසී ය.</verse>
				<verse number="16">උන්වහන්සේගේ පූර්ණත්වයෙන් අප හැම අනුග්‍රහ පිට අනුග්‍රහ ලැබීමු.</verse>
				<verse number="17">දහම් නීති සංග්‍රහය දෙන ලද්දේ, මෝසෙස් මඟිනි. අනුග්‍රහය හා සත්‍යය පැමිණියේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මඟිනි.</verse>
				<verse number="18">කිසිවෙක්, කිසි කලෙක දෙවියන්වහන්සේ දැක නැත. එහෙත් උන්වහන්සේ හඳුන්වා දුන්නේ, පියාණන්වහන්සේගේ ළයෙහි සිටින එකම පුත්‍ර වූ දෙවියන්වහන්සේම ය.</verse>
				<verse number="19">“ඔබ කවරෙක් දැ?” යි අසන පිණිස, යුදෙව්වන් ඔහු වෙත යෙරුසලමේ සිට ලෙවීවරුන් හා පූජකයින් යැවූ කල, යොහන්ගේ සාක්ෂිය වූයේ මෙයයි:</verse>
				<verse number="20">“මම ක්‍රිස්තුස්වහන්සේ නො වෙමි” යි ඔහු ප්‍රකාශ කළේ ය. එසේ ප්‍රකාශ කරන්නට ඔහු පැකුළුණේ නැත.</verse>
				<verse number="21">“එහෙනම් ඔබ කවුරු ද? ඔබ එලියාදැ?” යි ඔවුහු ඇසූහ. “නැතැ” යි ඔහු කීවේ ය. “ඔබ දිවැසිවරයා දැ?” යි ඔවුහු ඇසූහ. ඔහු “නැතැ” යි කීවේ ය.</verse>
				<verse number="22">ඔවුහු යළි ප්‍රශ්න කරමින්, “එහෙනම් ඔබ කවුරු ද? අප එවූ අයට අප උත්තරයක් ගෙන යා යුතුයි; ඔබ කියන්නේ ඔබ කවුරුන් ය කියා දැ?” යි ඇසූහ.</verse>
				<verse number="23">යොහන් පිළිතුරු දෙමින්, “යෙසායා දිවැසිවරයා පෙර කී අනාවැකිය පරිදි, ‘ස්වාමින්වහන්සේගේ මාර්ගය සෘජු ලෙස සකස් කරනු’ යි කී කාන්තාරයේ හඬගසන්නාගේ කටහඬ මම යැ” යි පැවසී ය.</verse>
				<verse number="24">එවිට පරිසිවරුන් විසින් එවනු ලැබූ අය,</verse>
				<verse number="25">ඔහු අමතමින්, “ඔබ ක්‍රිස්තුස්වහන්සේවත්, එලියාවත්, දිවැසිවරයාවත් නො වේ නම්, ඔබ බව්තීස්ම කරන්නේ මොකදැ?” යි ඇසූහ.</verse>
				<verse number="26">යොහන් පිළිතුරු දෙමින්, “මා බව්තීස්ම කරන්නේ වතුරිනි. එහෙත් ඔබ නො හඳුනන කෙනෙක් ඔබ අතරේ සිටින සේක;</verse>
				<verse number="27">මට පසුව එන තැනැත්තාණෝ උන්වහන්සේයි; උන්වහන්සේගේ පාවහන් පටි මුදන්නට තරම් වත් මා වටින්නේ නැතැ” යි පැවසී ය.</verse>
				<verse number="28">මේ සියල්ල සිදු වූයේ යොහන් බව්තීස්ම කරමින් සිටි යොර්දාන් නදියෙන් එතෙර පිහිටි බෙතානියේදී ය.</verse>
				<verse number="29">පසු දා යේසුස්වහන්සේ තමන් දෙසට එනු දුටු යොහන් කතා කරමින්, “අන්න! ලෝකයේ පාපය දුරු කරන දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණෝ;</verse>
				<verse number="30">‘මට පළමුවෙන් සිටි බැවින්, මට වඩා උත්තම කෙනෙක් මට පසුව එතැ’ යි මා කීවේ මෙතුමාණන් ගැනයි.</verse>
				<verse number="31">මා මෙතුමාණන් හැඳින සිටියේ නැහැ. එහෙත් මා මෙසේ වතුරින් බව්තීස්ම කරමින් ආවේ, ඉශ්‍රායෙල් ජනයාට මෙතුමාණන් එළිදරවු කිරීමට යැ” යි පැවසී ය.</verse>
				<verse number="32">යොහන් සිය සාක්ෂිය දක්වමින්, “ආත්මයාණන් ස්වර්ගයේ සිට පරෙවියකු ලෙස බැස ඇවිත්, මෙතුමාණන් මත රැඳී සිටිනවා මා දැක්කා.</verse>
				<verse number="33">මා මෙතුමාණන් හැඳින සිටියේ නැති නමුත්, වතුරින් බව්තීස්ම කරන්නට මා එවූ තැනැන්වහන්සේ මා අමතා, ‘ආත්මයාණන් බැස අවුත්, යමකු මත රැඳී සිටිනවා ඔබ දකින්නේ ද, ශුද්ධාත්මයාණන්ගෙන් බව්තීස්ම කරන තැනැත්තා එතුමාණන් යැ’ යි කී සේක.</verse>
				<verse number="34">මා දැන් එය දුටු නිසා, මෙතුමාණන් දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බවට සාක්ෂි දරමි” යි පැවසී ය.</verse>
				<verse number="35">පසු දින යළිත්, තම ගෝලයින් දෙදෙනකු සමඟ එතැන සිටි යොහන්,</verse>
				<verse number="36">යේසුස්වහන්සේ ගමන් කරනු දැක, “අන්න! දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණෝ” යි කීවේ ය.</verse>
				<verse number="37">ඔහු එසේ පවසනු ඇසූ ගෝලයෝ දෙදෙන යේසුස්වහන්සේ පස්සේ ගියහ.</verse>
				<verse number="38">යේසුස්වහන්සේ හැරී, ඔවුන් තමන් පසුපස එනු දැක, “මොනවද ඔබ සොයන්නේ?” යි ඇසූ සේක. “රබ්බී, ඔබ සිටින්නේ කොහේ දැ?” යි ඔවුහු ඇසූහ. (රබ්බී යන්නෙහි අර්ථය ගුරුතුමනි යනුයි.)</verse>
				<verse number="39">“එන්න, ඇවිත් බලන්නැ” යි උන්වහන්සේ කී සේක. එසේ ගිය ඔවුහු, උන්වහන්සේ වෙසෙන තැන දැක, එදින උන්වහන්සේ සමඟ ගත කළහ. එවිට වෙලාව දස වන පැය පමණ විය.</verse>
				<verse number="40">යොහන් කී දේ අසා, උන්වහන්සේ පසුපස ගිය දෙදෙනාගෙන් කෙනකු වූයේ සීමොන් පේතෘස්ගේ සහෝදර අන්දෘ ය.</verse>
				<verse number="41">පළමු කොට අන්දෘ කළේ, තම සහෝදර සීමොන් සොයා ගොස්, “අපට මෙසියස්වහන්සේ හමු වුණා” යි කීම ය. (මෙසියස්වහන්සේ යනු ක්‍රිස්තුස්වහන්සේ ය).</verse>
				<verse number="42">ඔහු යේසුස්වහන්සේ වෙත සීමොන් කැඳවාගෙන ආවේ ය. යේසුස්වහන්සේ ඔහු දෙස බලා, “ඔබ යොහන්ගේ පුත්‍ර සීමොන් ය. ඔබ කේපස් නමින් හඳුන්වනු ලබන්නේ යැ” යි කී සේක. (එහි අර්ථය පේතෘස් ය).</verse>
				<verse number="43">පසු දා යේසුස්වහන්සේ ගලීලයට යෑමට තීරණය කළ සේක. උන්වහන්සේට පිලිප් හමු වී, “මා සමඟ එන්නැ” යි ඔහු කැඳවූ සේක.</verse>
				<verse number="44">පිලිප්, පේතෘස් හා අන්දෘ මෙන් බෙත්සයිදා නගර වැසියෙකි.</verse>
				<verse number="45">පිලිප්, නතානියෙල් හමු වී, “නීති සංග්‍රහයේ මෝසෙස් හා දිවැසිවරුන් සඳහන් කළ තැනැත්තා අපට හමු වුණා; ඔහු යෝසෙප්ගේ පුත්‍ර නාසරෙත්හි යේසුස්වහන්සේ” යි කීවේ ය.</verse>
				<verse number="46">“නාසරෙත්!” යයි කී නතානියෙල්, “කිසි හොඳක් එහෙන් ඒ දැ?” යි ඇසී ය. “ඇවිත් බලන්නැ” යි පිලිප් කීවේ ය.</verse>
				<verse number="47">නතානියෙල් තමන් වෙත ළඟා වනු දුටු යේසුස්වහන්සේ ඔහු අමතා, “මෙන්න! තමා තුළ හොර බොරු නැති නියම ඉශ්‍රායෙල්වරයෙක්” යැයි කී සේක.</verse>
				<verse number="48">“ඔබතුමා මා ගැන දන්නේ කොහොම දැ?” යි නතානියෙල් ඇසී ය. “පිලිප් ඔබට කතා කරන්නට කලින් ඔබ අත්තික්කා ගහ යට සිටිනු මා දුටුවා” යි යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දුන් සේක.</verse>
				<verse number="49">එවිට නතානියෙල්, “රබ්බී, ඔබතුමා දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ ය; ඉශ්‍රායෙල්ගේ රජ්ජුරුවෝ යැ” යි පැවසී ය.</verse>
				<verse number="50">යේසුස්වහන්සේ ඔහු අමතමින්, “අත්තික්කා ගහ යටදී මා ඔබ දුටුවා කීමෙන්, ඔබ විශ්වාස කරනවා ද? මීට වඩා මහත් දේවල් ඔබ දකිනු ඇත;</verse>
				<verse number="51">සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, ස්වර්ගය විවරව, දෙවියන්වහන්සේගේ දූතයින් මනුෂ්‍ය පුත්‍රයාණන් වෙත නඟිනවාත්, බසිනවාත් ඔබ දකිනු ඇතැ” යි පැවසූ සේක.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">තුන් වන දවසේ ගලීලයේ කානාහි විවාහ මංගල්‍යයක් විය. යේසුස්වහන්සේගේ මෑණියෝ ද එහි වූවා ය.</verse>
				<verse number="2">යේසුස්වහන්සේ හා උන්වහන්සේගේ ගෝලයින් ද මංගල උත්සවයට ඇරියුම් ලැබ තිබුණි.</verse>
				<verse number="3">තිබූ මිදි යුෂ ඉවර වූ කල, “ඔවුන්ට මිදි යුෂ ඉවර වෙලා” යි යේසුස්වහන්සේගේ මෑණියෝ උන්වහන්සේට කීවා ය.</verse>
				<verse number="4">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ස්ත්‍රිය, ඔබ මේකට මාව ගාවගන්නේ මොකට ද? මගේ පැය තවම පැමිණ නැතැ” යි කී සේක.</verse>
				<verse number="5">එවිට උන්වහන්සේගේ මෑණියෝ සේවකයින් අමතා, “උන්වහන්සේ කියන කවර දෙයක් වුවත් කරන්නැ” යි කීවා ය.</verse>
				<verse number="6">පවිත්‍ර වීමේ යුදෙව් චාරිත්‍රය සඳහා ගන්නා ගැලුම් විස්සක්-තිහක් අල්ලන, ගල් ජල-භාජන හයක් ඒ ළඟ තබා තිබිණි.</verse>
				<verse number="7">“භාජනවලට වතුර පුරවන්නැ” යි යේසුස්වහන්සේ සේවකයින්ට කී සේක; ඔවුහු මුවවිට දක්වාම ඒවා ජලයෙන් පිරවූහ.</verse>
				<verse number="8">“දැන් මෙයින් ටිකක් ගෙන ගොස්, උත්සව සංවිධායකට දෙන්නැ” යි උන්වහන්සේ ඔවුන්ට කී සේක. ඔවුහු එසේ කළහ.</verse>
				<verse number="9">සංවිධායක, මිදි යුෂ බවට පත් වතුර රස බැලුවේ ය; වතුර අදින ලද සේවකයින් දැන සිටි නමුදු ඒවා කොතැනින් ලැබුණේදැයි ඔහු දැන සිටියේ නැත. එහෙයින් මනාලයා පසෙකට කැඳවූ ඔහු,</verse>
				<verse number="10">“කවුරුත් කරන්නේ පළමුවෙන් අනගි මිදියුෂවලින් සංග්‍රහකොට, මිනිසුන් පදමට බිවූ පසු බාල මිදි යුෂ දීමයි. එහෙත් ඔබ ඉස්තරම් ඒවා එළියට ගෙන ඇත්තේ දැන්” යැයි කීවේ ය.</verse>
				<verse number="11">මෙය යේසුස්වහන්සේ ගලීලයේ කානාහි දී පෑ ප්‍රථම අනුහස් ලකුණ ය; මෙයින් උන්වහන්සේ ස්වකීය තේජෝ මහිමය ප්‍රකාශ කළ සේක; උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ තුළ විශ්වාසය තැබූහ.</verse>
				<verse number="12">ඉන්පසු යේසුස්වහන්සේ සිය මෑණියන් ද සහෝදරයින් ද ගෝලයින් ද සමඟ කපර්ණවුම් වෙත ගිය සේක; ඔවුහු ටික දවසක් එහි නැවතී සිටියහ.</verse>
				<verse number="13">යුදෙව්වරුන්ගේ පාස්කුව ළං වූයෙන්, යේසුස්වහන්සේ යෙරුසලමට ගිය සේක.</verse>
				<verse number="14">මිනිසුන් ගව, බැටළු, පරෙවි ආදී සතුන් දේව මාලිග මළුව තුළ අලෙවි කරනු ද විනිමය මාරු කරන්නන් ගනුදෙනු සඳහා හිඳ සිටිනු ද දුටු උන්වහන්සේ,</verse>
				<verse number="15">ලණුවලින් කසයක් තනා, ගවයින් හා බැටළුවන් සමඟ ඒ සියල්ලන් පිටතට පන්නා, විනිමයකරුවන්ගේ කාසි විසුරුවා, ඔවුන්ගේ මේස ද පෙරළා දැමූ සේක;</verse>
				<verse number="16">පරෙවි වෙළඳුන් වෙත හැරුණු උන්වහන්සේ, “මේවා මෙතැනින් අරන් පලයල්ලා. මා පියාණන්ගේ ගෘහය වෙළඳ පොළක් කිරීම නවතපල්ලා” යි කී සේක.</verse>
				<verse number="17">එවිට ලියා ඇති පරිදි, “ඔබගේ ගෘහය උදෙසා වූ උද්යෝගයෙන් මා ඇවිළේ” යන්න උන්වහන්සේගේ ගෝලයින්ට මතක් විය.</verse>
				<verse number="18">එවිට යුදෙව් නායකයෝ උන්වහන්සේට කතා කරමින්, “මේවා කිරීමට ඔබ පෙන්වන අනුහස් ලකුණ කුමක් දැ?” යි ඇසූහ.</verse>
				<verse number="19">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මේ මාලිගය කඩා දමන්න; තුන් දවසකින් මම එය නැවත ගොඩ නගන්නෙමි” යි පැවසූ සේක.</verse>
				<verse number="20">එවිට ඔවුහු, “මේ මාලිගය ගොඩ නගන්නට හතළිස් හය වසරක් ගත වුණා; ඔබ එය දවස් තුනකින් ගොඩ නගන්න යනවාදැ?” යි ඇසූහ.</verse>
				<verse number="21">එහෙත් උන්වහන්සේ කී මාලිගාව උන්වහන්සේගේම ශරීරයයි.</verse>
				<verse number="22">යේසුස්වහන්සේ මරණින් යළි නැගිට්ට පසු, උන්වහන්සේගේ ගෝලයින්ට උන්වහන්සේගේ මේ කියමන මතක් විය; එවිට ඔවුහු ශුද්ධ ලියවිල්ල ද උන්වහන්සේ පැවසූ වචන ද විශ්වාස කළෝ ය.</verse>
				<verse number="23">පාස්කු උත්සවයට යෙරුසලමේ සිටියදී, උන්වහන්සේ දැක්වූ ලකුණු දුටු බොහෝ දෙනෙක් උන්වහන්සේගේ නාමය කෙරේ විශ්වාස කළහ.</verse>
				<verse number="24">යේසුස්වහන්සේ සියලු මිනිසුන් ගැන දැන සිටි හෙයින් තමන්වහන්සේම ඔවුන්ට භාර වූයේ නැත.</verse>
				<verse number="25">මිනිසාගේ ඇතුළාන්තය හොඳින්ම දත් හෙයින්, මිනිසකු ගැන තවත් මිනිසකුගේ සහතිකයක් උන්වහන්සේට අවශ්‍ය වූයේ නැත.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">යුදෙව් පාලකයකු වූ නිකදේමුස් නම් පරිසිවර මනුෂ්‍යයෙක් සිටියේ ය;</verse>
				<verse number="2">ඔහු යේසුස්වහන්සේ වෙත රෑ පැමිණ, “රබ්බී, ඔබතුමා දෙවියන්වහන්සේ වෙතින් පැමිණි ගුරුවරයකු වග අප දන්නවා. මන්ද තමන් සමඟ දෙවියන්වහන්සේ නො සිටින කෙනකුට ඔබ දක්වන මේ ලකුණු කරන්නට බැරි යැ” යි කීවේ ය.</verse>
				<verse number="3">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, නැවත නූපදින කිසි කෙනකුට දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින්නට නො හැකි බවයි” කී සේක.</verse>
				<verse number="4">“මිනිසකු මහලු වූ පසු, යළි උපදින්නට පුළුවන් කොහොම ද? නැවත වරක් මවු කුසට ඇතුළුව උපදින්නට ඔහුට පුළුවන් දැ” යි නිකදේමුස් උන්වහන්සේගෙන් ඇසී ය.</verse>
				<verse number="5">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, කෙනකු වතුරින් හා ආත්මයාණන්ගෙන් උපන්නොත් මිස, ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට නො හැකියි.</verse>
				<verse number="6">මාංසයෙන් උපදින දේ මාංසිකයි; ආත්මයාණන්ගෙන් උපදින දේ ආත්මිකයි.</verse>
				<verse number="7">‘ඔබ නැවත උපදින්නට ඕනෑ’ යි මා කීවාට පුදුම නො වන්න.</verse>
				<verse number="8">සුළඟ එය කැමති අත හමයි; එහි හඬ ඔබට ඇසෙයි; එහෙත් එය කොහි සිට එනවා ද? කොතැනක යනවාදැයි ඔබ දන්නේ නැත. ආත්මයාණන්ගෙන් ඉපැදුණු හැම කෙනකුම අන්න ඒ වගේ යැ” යි කී සේක.</verse>
				<verse number="9">“ඒක වෙන්නේ කොහොම දැ?” යි නිකදේමුස් ඇසුවේ ය.</verse>
				<verse number="10">යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, මෙසේ පැවසූ සේක, “ඉශ්‍රායෙල් ගුරුවරයා ඔබයි; ඒත් ඔබට ඒවා වැටහෙන්නේ නැති ද?</verse>
				<verse number="11">සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, අප පවසන්නේ දන්නා දේයි. සාක්ෂි දරන්නේ අප දුටු දේයි. එහෙත් අපගේ සාක්ෂිය ඔබ පිළිගන්නේ නැත.</verse>
				<verse number="12">මා පොළොවේ දේවල් ගැන කී විට, ඔබ ඒවා විශ්වාස කරන්නේ නැතිනම්, ස්වර්ගීය දේ ගැන කීවොත්, විශ්වාස කරන්නේ කොහොම ද?</verse>
				<verse number="13">ස්වර්ගයෙන් බැස්සාවූ තැනැත්තාණන් වන මනුෂ්‍ය පුත්‍රයාණන් මිස, කිසිවෙක් කිසි කලෙක ස්වර්ගයට නැඟුනේ නැත;</verse>
				<verse number="14">කාන්තාරයේදී මෝසෙස් සර්පයා එසවූ ලෙස මනුෂ්‍ය පුත්‍රයාණන් ද ඔසවනු ලැබිය යුතුව ඇත.</verse>
				<verse number="15">ඒ, උන්වහන්සේ අදහා ගන්නා හැම කෙනකුටම සදාතන ජීවනය අත්වන පිණිසයි.”</verse>
				<verse number="16">මන්ද දෙවියන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක් ද යත්, ස්වකීය එකම පුතණුවන් පවා දුන් සේක. ඒ, උන්වහන්සේ තුළ අදහා ගන්නා කවරකු වුවත් විනාශ නො වී, සදාතන ජීවනය ලබන පිණිස ය.</verse>
				<verse number="17">දෙවියන්වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලෝකයට එවුවේ, ලෝකය වරදට පත් කරන්නට නො ව, උන්වහන්සේ මඟින් ලෝකයා ගලවා ගන්නට ය.</verse>
				<verse number="18">උන්වහන්සේ තුළ අදහා ගන්නා කිසිවකු දඬුවමට නියම කරනු ලබන්නේ නැත. එහෙත් අදහා නො ගන්න කවරකු වුව දැනටමත් දඬුවමට නියමව සිටී; මන්ද ඔහු දෙවියන්වහන්සේගේ එකම පුත්‍රයාණන්ගේ නාමය තුළ විශ්වාස නො කළ බැවිනි.</verse>
				<verse number="19">තීන්දුව මෙයයි; ලෝකයට ආලෝකය පහළ වී ඇති නමුත්, මිනිසුන් තම ක්‍රියා කලාපය දුෂ්ට නිසා, ඔවුන් ප්‍රිය කරන්නේ ආලෝකයට වඩා අන්ධකාරයටය.</verse>
				<verse number="20">නපුර කරන හැම කෙනෙක්ම ආලෝකයට වෛර කරනවාත් හැර, තම ක්‍රියා කලාපය හෙළිවෙතැයි බියෙන් ආලෝකයට එන්නේ ද නැත.</verse>
				<verse number="21">එහෙත් සත්‍යයෙහි පැවත ක්‍රියා කරන්නා, තමන් කරන දේ දෙවියන්වහන්සේගේ කැමැත්තට එකඟව කළ බව පෙනෙන පිණිස, ආලෝකය තුළට එන්නේ ය.</verse>
				<verse number="22">මින් පසුව යේසුස්වහන්සේ හා උන්වහන්සේගේ ගෝලයෝ යූදා ගම් පළාතට ගියහ; උන්වහන්සේ ටික කලක් ඔවුන් සමඟ ගත කරමින්, බව්තීස්ම ද කළ සේක.</verse>
				<verse number="23">සාලිම් අසල ඒනොන්හි බෙහෙවින් ජලය තිබූ බැවින් යොහන් ද තමන් වෙත ආ අය බව්තීස්ම කරමින් සිටියේ ය.</verse>
				<verse number="24">ඒ, යොහන් සිරබාරයට පත් වන්නට කලිනි;</verse>
				<verse number="25">යොහන්ගේ ගෝලයින් හා යුදෙව්වකු අතර පවිත්‍ර වීමේ චාරිත්‍රය පිළිබඳ වාදයක් පැන නැගිණි.</verse>
				<verse number="26">ඔවුහු යොහන් අමතමින්, “රබ්බී, යොර්දානෙන් එතෙර ඔබ සමඟ සිටි, අර ඔබ සාක්ෂි දැරූ තැනැත්තාත් දැන් බව්තීස්ම කරයි; දැන් හැමෝම යන්නේ ඔහු වෙත යැ” යි කීවේ ය.</verse>
				<verse number="27">යොහන් පිළිතුරු දෙමින්, මෙසේ පැවසී ය, “ස්වර්ගයෙන් දෙනු ලැබූ දෙයක් මිස අන් කිසිවක් ලබන්නට මනුෂ්‍යයකුට නුපුළුවන.</verse>
				<verse number="28">‘මා ක්‍රිස්තුස්වහන්සේ නො ව, උන්වහන්සේට පෙරටුව එවනු ලැබූ තැනැත්තා යැ’ යි මා කී වගට ඔබට සාක්ෂි දැරිය හැකියි.</verse>
				<verse number="29">මනාලිය අයිති මනාලයාටයි. මනාලයා ළඟ සිට ඔහුට සවන් දෙන මිත්‍රයාට මනාලයාගේ කටහඬ ඇසීමත් කිව නො හැකි තරම් ප්‍රීතියක්; එහෙයින් මගේ ඒ ප්‍රීතිය දැන් සම්පූර්ණ වී ඇත;</verse>
				<verse number="30">උන්වහන්සේ වැඩි වෙන්නටත්, මා අඩු වෙන්නටත් ඕනෑ ය.”</verse>
				<verse number="31">ඉහළින් එන තැනැත්තා හැමෝටම වඩා උතුම් ය; පොළොවෙන් වන තැනැත්තා අයිති පොළොවටයි. ඔහු කතා කරන්නේ පොළොවේ කෙනකු වාගෙයි. ස්වර්ගයෙන් එන තැනැත්තා සියල්ලන්ට වඩා උතුම් ය.</verse>
				<verse number="32">උන්වහන්සේ සාක්ෂි දරන්නේ, තමන් ඇසූ දුටු දේ ගැනයි; එනමුත් කිසිවකු උන්වහන්සේගේ සාක්ෂිය පිළිගන්නේ නෑ.</verse>
				<verse number="33">උන්වහන්සේගේ සාක්ෂිය පිළිගන්නා කවරකු වුව දෙවියන්වහන්සේ සත්‍යයම බවට, තම මුද්‍රාව තබයි.</verse>
				<verse number="34">දෙවියන්වහන්සේ එවූ තැනැත්තා පවසන්නේ, දෙවියන්වහන්සේගේම වචනයි. මන්ද දෙවියන්වහන්සේ ආත්මයාණන් ප්‍රදාන කරන්නේ සීමාවක් නැතිවයි.</verse>
				<verse number="35">දෙවියන්වහන්සේ ස්වකීය පුත්‍රයාට ප්‍රේම කරන සේක්, හැම දෙයක්ම පුත්‍රයාණන් අතට දී තිබේ.</verse>
				<verse number="36">පුත්‍රයාණන් අදහන්නාට සදාතන ජීවනය තිබෙයි. එහෙත් පුත්‍රයාණන්ට කීකරු නො වන්නාට ජීවනය දකින්නට නො ලැබෙයි. දෙවියන්වහන්සේගේ උදහස ඔහු මත රැඳී පවතී.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">යේසුස්වහන්සේ යොහන්ට වඩා ගෝලයින් දිනා බව්තීස්ම කරතියි පරිසිවරුන්ට සැල විය.</verse>
				<verse number="2">(එහෙත් ඇත්තෙන්ම බව්තීස්ම කළෝ යේසුස්වහන්සේ නො ව ගෝලයෝ ය.)</verse>
				<verse number="3">උන්වහන්සේ ඒ වග දැන, යුදයෙන් පිට වී, යළි ගලීලයට ගිය සේක.</verse>
				<verse number="4">ඒ ගමන යා යුතු වූයේ සමාරිය මැදිනි.</verse>
				<verse number="5">යාකොබ් සිය පුත් යෝසෙප්ට දුන් බිම් කොටස අසල පිහිටි සිකාර් නම් සමාරි නගරයට උන්වහන්සේ පැමිණි සේක.</verse>
				<verse number="6">යාකොබ්ගේ ළිඳ එහි විය; ගමනින් විඩාවට පත්ව සිටි යේසුස්වහන්සේ ළිඳ අසල හිඳගත් සේක. ඒ හයවන පැය පමණ විය.</verse>
				<verse number="7">සමාරියේ ස්ත්‍රියක් දිය අදින්නට එහි ආවා ය. ඈ ඇමතූ යේසුස්වහන්සේ, “මට බොන්නට දෙන්නැ” යි කී සේක.</verse>
				<verse number="8">උන්වහන්සේගේ ගෝලයෝ කෑම ගෙනෙන්නට කඩ මණ්ඩියට ගොස් සිටියහ.</verse>
				<verse number="9">එවිට සමාරීය ස්ත්‍රිය, “යුදෙව්වකු වූ ඔබ, සමාරීය ළඳක් වන මගෙන් වතුර ඉල්ලන්නේ කොහොම දැ?” යි උන්වහන්සේගෙන් ඇසුවා ය. (ඒ, එකල යුදෙව්වන්, සමාරියයන් හා ඇයි-හොඳයියක් නො පැවැත්වූ බැවිනි.)</verse>
				<verse number="10">යේසුස්වහන්සේ ඇය අමතමින්, “දෙවියන්වහන්සේ ඔබට පිළිගන්වන දීමනාව කුමක් ද කියාත්, ඔබෙන් දිය ඉල්ලන්නේ කවුරුන් ද කියාත් ඔබ දැන සිටියා නම්, ඔහුගෙන් ඉල්ලන්නේ ඔබයි. එවිට ඔහු ඔබට ජීවන දිය දෙන්නට තිබුණා” යි කී සේක.</verse>
				<verse number="11">එකල ඈ, “මහත්මයා, කෝ! දිය අදින්නට කිසිවක් ඔබට නැහැ; ළිඳත් ගැඹුරුයි; ඒ ජීවන දිය ඔබ ලබා ගන්නේ කොහෙන් ද?</verse>
				<verse number="12">අපේ ආදි පියා වූ යාකොබ්ටත් වඩා ඔබ ශ්‍රේෂ්ඨ ද? මේ ළිඳ අපට දුන්නේ ඔහුයි; ඔහුත් මෙයින් බීවා; ඔහුගේ පුත්‍රයිනුත්, ගව, එළු, බැටළු රංචුත් මෙයින් බීවා” යි කීවා ය.</verse>
				<verse number="13">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මේ වතුර බොන හැම කෙනකුට නැවත පිපාස දැනේ;</verse>
				<verse number="14">එනමුත්, මා දෙන දිය බොන කෙනකුට නැවත පිපාසය ඇති නො වේ. මා දෙන දිය බොන ඇත්තන් තුළ සදාතන ජීවන උල්පත් මැවෙන්නේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="15">එවිට ඕ “අනේ මටත් ඒ වතුර දෙන්න; එවිට ආයෙත් මට පිපාස වන්නේවත්, දිය අදින්නට මෙහි එන්නට වන්නේවත් නෑ” යි උන්වහන්සේට කීවා ය.</verse>
				<verse number="16">“ගොසින් ඔබේ ස්වාමි පුරුෂයා කැඳවාගෙන මෙහෙ එන්නැ” යි යේසුස්වහන්සේ කී කල,</verse>
				<verse number="17">“මට ස්වාමි පුරුෂයකු නැතැ” යි ඕ කීවා ය. එවිට යේසුස්වහන්සේ, “ඔබට ස්වාමි පුරුෂයකු නැති වග ඔබ කීවා හරි;</verse>
				<verse number="18">ඇත්ත නම් ඔබට ස්වාමි පුරුෂයන් පස්දෙනකුම සිටියා; දැන් ඔබ සමඟ සිටින තැනැත්තා ඔබේ ස්වාමි පුරුෂයා නො වේ; ඔබ කී දේ ඇත්තයි” කී සේක.</verse>
				<verse number="19">එවිට උන්වහන්සේ ඇමතූ ඇය, “මහත්මයාණෙනි, ඔබතුමා දිවැසිවරයකු බවයි මට පෙනෙන්නේ;</verse>
				<verse number="20">අපේ පියවරුන් නමස්කාර කළේ මේ කන්දෙදීයි. එනමුත් යුදෙව් ඔබ කියන්නේ නමස්කාර කළ යුත්තේ යෙරුසලම්හි දී කියායි” කීවා ය.</verse>
				<verse number="21">එවිට යේසුස්වහන්සේ, “මා විශ්වාස කරන්න ස්ත්‍රිය, ඔබ මේ කන්දේවත්, යෙරුසලම්හිදීවත් පියාණන්වහන්සේට නමස්කාර නො කරන කාලයක් උදා වෙයි.</verse>
				<verse number="22">ඔබ නමස්කාර කරන්නේ, ඔබ නො දන්නා දේටයි; අප නමස්කාර කරන්නේ, අප දන්නා දේටයි. මන්ද ගැලවීම යුදෙව්වන් වෙතින්;</verse>
				<verse number="23">එහෙත් අව්‍යාජව නමස්කාර කරන්නන්, ආත්මයෙන් හා සැබෑකමින් පියාණන්වහන්සේට නමස්කාර කරන කාලයක් පැමිණෙයි. ඒ කාලය දැන් උදාවෙලා. පියාණන්වහන්සේ එසේ නමස්කාර කරන්නන් සොයන සේක.</verse>
				<verse number="24">දෙවියන්වහන්සේ ආත්මයාණන් ය; උන්වහන්සේට නමස්කාර කරන්නන්, නමස්කාර කළ යුත්තේත්, ආත්මයෙන් හා සැබෑකමින්” යැයි පැවසූ සේක.</verse>
				<verse number="25">එවිට එම ස්ත්‍රිය, “ක්‍රිස්තුස් කියන මෙසියස්වහන්සේ පැමිණෙන වග මා දන්නවා. උන්වහන්සේ ආ කල, හැම දෙයක්ම අපට පැහැදිලි කර දේවි” යි උන්වහන්සේට කීවා ය.</verse>
				<verse number="26">එවිට යේසුස්වහන්සේ, “ඔබ සමඟ කතා කරන මම උන්වහන්සේ වෙමි” යි ප්‍රකාශ කළ සේක.</verse>
				<verse number="27">ඒ වෙලාවේම උන්වහන්සේගේ ගෝලයෝ ආපසු පැමිණියහ. උන්වහන්සේ ස්ත්‍රියක හා කතාවෙන් පසුවනු දැක ඔවුහු මවිත වූහ. එහෙත්, “මොනවද ඔබට ඕනෑ?” කියා හෝ “ඇය සමඟ කතා කරන්නේ ඇයි?” කියා කිසිවකු ප්‍රශ්න කළේ නැත.</verse>
				<verse number="28">එකල එම ස්ත්‍රිය, තම වතුර කළය එතැනම තබා, නගරයට ගොස්,</verse>
				<verse number="29">“වරෙල්ලා, මෙතෙක් මා කළ හැම දෙයක්ම කී මිනිසකු බලන්නට; මෙතුමා ක්‍රිස්තුස්වහන්සේවත්දෝ” යි මිනිසුන්ට කීවා ය.</verse>
				<verse number="30">එවිට නගරයෙන් පිටතට ආ ඔවුහු උන්වහන්සේ සිටි දෙසට ආහ.</verse>
				<verse number="31">ඒ අතර ගෝලයෝ, “රබ්බී, යමක් කන්නැ” යි උන්වහන්සේට පෙරැත්ත කළහ.</verse>
				<verse number="32">“ඔබ කොහෙත්ම නො දන්නා ආහාරයක් ගැනීමට මට තියෙනවා” යි උන්වහන්සේ ඔවුන්ට කී සේක.</verse>
				<verse number="33">එබැවින් ඔවුහු, “කවුරුවත් උන්වහන්සේට ආහාර ගෙනැවිත් දුන්නා දැ?” යි එකිනෙකා විමසූහ.</verse>
				<verse number="34">යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “මගේ ආහාරය මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත කර, උන්වහන්සේගේ කාර්යය සම්පූර්ණ කිරීමයි.</verse>
				<verse number="35">‘තව හාර මාසයයි; ඊ ළඟට කපන කාලය පැමිණේ’ යි ඔබ කියනවා නො වේ ද? මා ඔබට කියන්නේ, ඇස් ඇර කුඹුරු දිහා බලන්න! අස්වනු නෙළීමට ඒවා දැනටමත් පැහිලා.</verse>
				<verse number="36">වපුරන්නාත්, කපන්නාත් එක්ව ප්‍රීති ප්‍රමෝද වන පිණිස අස්වනු නෙළන්නා දැනටමත් තම වැටුප් ලැබ, සදාතන ජීවනයට පලදාව රැස් කරයි.</verse>
				<verse number="37">මෙසේ, ‘කෙනෙක් වපුරන්නේ ය, අන් කෙනෙක් කපන්නේ ය’ යන කියමන සැබෑ වෙයි.</verse>
				<verse number="38">ඔබ වැඩ නො කළ කුඹුරක අස්වනු නෙළීමට මම ඔබ යැවුවෙමි. වැපිරීමේ වෙහෙස දැරුවේ වෙනත් අයයි. ඔවුන්ගේ වෙහෙසේ පල භුක්ති විඳින්නෝ ඔබ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="39">“මෙතෙක් මා කළ හැම දෙයක්ම එතුමා මට කීවා” යන ඒ ස්ත්‍රියගේ සාක්ෂිය නිසා, ඒ නගරයේ සමාරි වාසීහු බොහෝ දෙනෙක් උන්වහන්සේ තුළ විශ්වාසය තැබූහ.</verse>
				<verse number="40">එබැවින් ඔවුහු උන්වහන්සේ හමුවට ආ කල, තමන් සමඟ නවතින්නැයි උන්වහන්සේට ඇවිටිලි කළහ. උන්වහන්සේ දින දෙකක් ඔවුන් සමඟ ගත කළ සේක.</verse>
				<verse number="41">එහිදී උන්වහන්සේගේ වචන නිසා, තවත් බොහෝ දෙනෙක් ඇදහිලිවතුන් බවට පත් වූහ.</verse>
				<verse number="42">ඔවුහු ඒ ස්ත්‍රියට කතා කොට, “අප දැන් විශ්වාස කරන්නේ, ඔබ කී දේ නිසා නො වෙයි. අපි දැන් අපේම කනින් ඇසුවා; සැබවින් ම දැන් අප දන්නවා මුන්වහන්සේ ලෝකයේ ගැලවුම්කරුවාණන් වග” යයි කීවෝ ය.</verse>
				<verse number="43">ඒ දෙදිනට පසු යේසුස්වහන්සේ ඔවුන්ගෙන් සමුගෙන ගලීලය බලා ගිය සේක.</verse>
				<verse number="44">“ගමේ දිවැසිවරයාට තම ගමේදී ගෞරවයක් නැතැ” යි යේසුස්වහන්සේ පවසා තිබූ නමුදු,</verse>
				<verse number="45">යෙරුසලමේ පාස්කු උත්සවයේදී උන්වහන්සේ සිදු කළ සියල්ල දැක තිබූ ගලීල වාසීහු උන්වහන්සේ හරසරින් පිළිගත්හ. ඔවුන් ද උත්සවයට ගොස් තිබුණි.</verse>
				<verse number="46">යේසුස්වහන්සේ වතුර, මිදි යුෂ බවට පත් කළ ගලීලයේ කානා නගරය කරා උන්වහන්සේ යළි පැමිණි සේක. රෝගී පුත්‍රයකු සිටි එක්තරා රජයේ නිලධාරියෙක් කපර්ණවුම්හි සිටියේ ය.</verse>
				<verse number="47">යේසුස්වහන්සේ යුදයේ සිට ගලීලයට ආ වග ඇසූ හෙතෙම උන්වහන්සේ හමුවට ගොස්, උන්වහන්සේට කන්නලව් කරමින්, අවුත් මරණාසන්නව සිටින තම පුත්‍රයා සුව කර දෙන මෙන් අයැදී ය.</verse>
				<verse number="48">යේසුස්වහන්සේ ඔහු අමතා, “අනුහස් ලකුණු හා පුදුම දුටුවොත් මිස, ඔබට විශ්වාස කරන්න බැහැ නො වේ දැ? යි ඇසූ සේක.</verse>
				<verse number="49">“මහත්මයාණනි, අනේ මගේ දරුවා මැරෙන්නට කලින් අව මැනව” යි නිලධාරියා කියා සිටියේ ය.</verse>
				<verse number="50">“යන්න; ඔබේ පුත්‍රයා ජීවත්වනු ඇතැ” යි යේසුස්වහන්සේ පැවසූ කල, ඔහු උන්වහන්සේගේ වචන පිළිගෙන ආපසු ගියේ ය.</verse>
				<verse number="51">ඔහු මඟ යද්දීම ඔහුගේ ගෙදර මෙහෙකරුවෝ ඔහු හමු වී, “ඔබේ පුතාට සුවය ලැබුණා” යි දැන්වූහ.</verse>
				<verse number="52">ඔහුට සුවය ලැබුණේ කවර වේලාවෙදැයි ඔහු ඔවුන්ගෙන් විමසූ විට, “ඊයේ හත්වන පැයේදී ඔහුගේ උණ බැස්සා” යි ඔවුහු කීහ.</verse>
				<verse number="53">“ඔබේ පුත්‍රයා ජීවත්වනු ඇතැ” යි යේසුස්වහන්සේ පැවසුවේ හරියටම ඒ වෙලාවේ බව පියාට අවබෝධ විය. එබැවින් ඔහු පමණක් නො ව ඔහුගේ නිවසේ සැවොම ද අදහා ගත්හ.</verse>
				<verse number="54">යේසුස්වහන්සේ යුදයේ සිට ගලීලයට පැමිණි පසු දැක්වූ දෙවන අනුහස් ලකුණ මෙයයි.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">පසුව, යුදෙව්වන්ගේ මංගල්‍යයක් වූයෙන්, යේසුස්වහන්සේ යෙරුසලමට ගිය සේක.</verse>
				<verse number="2">යෙරුසලම්හි බැටළු දොරටුව ළඟ හෙබ්‍රෙව් බසින්, “බෙතෙස්දා” නමින් පොකුණක් ද ඒ පොකුණ වටා ආවරණ සහිත ආරුක්කු පහක් ද වෙයි.</verse>
				<verse number="3">කොර, අන්ධ, අංසබාග ආදී ආබාධිත සමූහයක් ඒවායේ වැතිර, රැඳී වුන්හ.</verse>
				<verse number="4">ඔවුන් එසේ සිටියේ දේව දූතයෙක් පැමිණ, කලින් කල පොකුණ කලඹතැයි ද එසේ කැළැතූ දියට මුලින්ම බට කවර රෝගියකු වුව සුව වෙතැයි ද යන විශ්වාසයට අනුව දිය කැළතෙන තෙක් ය.</verse>
				<verse number="5">තිස්අට වසරක් ගිලන්ව සිටි මිනිහෙක් ද එහි වූයේ ය.</verse>
				<verse number="6">යේසුස්වහන්සේ ඔහු දැක, දිගු කලක් ඔහු එසේ වැතිර සිටි වග දැන, “ඔබ සුවය ලබන්නට කැමති දැ?” යි ඇසූ සේක.</verse>
				<verse number="7">ගිලාන මිනිසා, “අනේ මහත්මයා, වතුර කැලඹෙද්දී පොකුණට බස්වන්නට අත්-උදව්කාරයෙක් මට නැහැ; හැම විට මා බහින්න හදද්දී කවුරු හරි මට කලින් බැහැලා ඉවරයැ” යි පැවසී ය.</verse>
				<verse number="8">එවිට යේසුස්වහන්සේ “නැගිටින්න; ඔබේ යහන උසුලාගෙන ඇවිද යන්නැ” යි පැවසූ සේක.</verse>
				<verse number="9">එකෙණෙහිම සුවය ලද ඒ මිනිසා තම යහන ද උසුලාගෙන, ඇවිද ගියේ ය. ඒ දවස සබතක් ය.</verse>
				<verse number="10">එබැවින් යුදෙව්වෝ, “අද සබතයි; යහන උසුලා යෑම දහම් නීතියට පටහැනියැ” යි සුවය ලද මිනිසාට දොස් කීහ.</verse>
				<verse number="11">ඔහු පිළිතුරු දෙමින්, “මා සුවපත් කළ මිනිසායි මට කීවේ, ‘ඔබේ යහන උසුලා, ඇවිද යන්න කියා’ යි” කීවේ ය.</verse>
				<verse number="12">“යහන උසුලන් යන්නැයි ඔබට කීවේ කොයි මිනිහා දැ?” යි ඔවුහු ප්‍රශ්න කළහ.</verse>
				<verse number="13">ජන සමූහයාට මැදි වී යේසුස්වහන්සේ එතැනින් ඉවත්ව ගොස් සිටි නිසා, ඒ කවුරුදැයි සුවය ලද මිනිසා දැන සිටියේ නැත.</verse>
				<verse number="14">පසුව දේව මාලිගයේදී යේසුස්වහන්සේ ඔහු මුණ ගැසී, “බලන්න, ඔබ දැන් සුවයෙන්; මීට වඩා නපුරක් ඔබට සිදු නො වන පිණිස, මින් මතු පව් නො කරන්නැ” කී සේක.</verse>
				<verse number="15">එවිට යුදෙව්වන් වෙත ගිය ඔහු, තමා සුවපත් කළේ යේසුස්වහන්සේ වග සැල කළේ ය.</verse>
				<verse number="16">යේසුස්වහන්සේ ඒ දෑ කළේ සබතේදී බැවින්, යුදෙව්වෝ උන්වහන්සේට හිරිහැර කළහ.</verse>
				<verse number="17">යේසුස්වහන්සේ කතා කරමින්, “මගේ පියාණන්වහන්සේ තවමත් වැඩ කරන සේක; මමත් වැඩ කරන්නෙමි” යි පැවසූ සේක.</verse>
				<verse number="18">උන්වහන්සේ මරා දැමීමට යුදෙව්වන් වඩාත් වෙර දැරුවේ මේ නිසා ය; ඒ, උන්වහන්සේ සබත් නීති කඩ කළා පමණක් නො ව, දෙවියන්වහන්සේ ස්වකීය පියාණන් ය කියා ගනිමින්, දෙවියන්වහන්සේ හා සම තත්වයක් පවරා ගත් බැවිනි.</verse>
				<verse number="19">යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, පියාණන්වහන්සේ යම් සේ ක්‍රියා කරනවා පුත්‍රයා දකිනවා ද, ඒ දේම කරනවා මිස, තනිව කිසිවක් කරන්නට පුත්‍රයාට නුපුළුවන් බවයි. පුත්‍රයා කරන්නේ, ඒ සැටියෙන්ම පියාණන්වහන්සේ කරන දේ කිරීමයි.</verse>
				<verse number="20">පියාණන්වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරන නිසා, තමන් කරන හැම දෙයක්ම පුත්‍රයාට පෙන්වන සේක. ඔබ මවිත කරවන මීට වඩා විශිෂ්ට දෑ මතු පෙන්වනු ඇත.</verse>
				<verse number="21">පියාණන්වහන්සේ මළවුන් නැගිටුවා ඔවුන්ට ජීවනය දෙන්නා සේ, පුත්‍රයා ද තමන් කැමති අයකුට ජීවනය දෙන්නේ ය.</verse>
				<verse number="22">තවද පියාණන්වහන්සේ කිසිවකුත් විනිශ්චය නො කර, විනිශ්චය මුළුමනින්ම පුත්‍රයාණන් අතට බාර දී ඇත.</verse>
				<verse number="23">එසේ කර ඇත්තේ, සියලු දෙනා වෙතින් පියාණන් ලබන ගෞරවයම පුත්‍රයාත් ලබන පිණිස ය. පුත්‍රයාණන්ට ගෞරව නො කරන්නා, ඔහු එවූ පියාණන්වහන්සේටත් ගෞරව කරන්නේ නැත.</verse>
				<verse number="24">“සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මගේ වචන අසා, මා එවූ තැනැන්වහන්සේ විශ්වාස කරන තැනැත්තාට සදාතන ජීවනය ඇත. ඔහු විනිශ්චයට පත් වන්නේ නැත; ඔහු මරණයෙන් ජීවනයට පැමිණ සිටී.</verse>
				<verse number="25">සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ කටහඬ මළවුන්ට ඇසෙන පැය උදා වන බවයි; එය දැනටමත් උදාවෙලා. ඊට සවන් දෙන්නෝ ජීවත්වන්නෝ ය.</verse>
				<verse number="26">පියාණන්වහන්සේ තුළ ජීවනය ඇතිවා සේ ම, තමන් තුළ ඒ ජීවනය ඇතිව සිටීමට පුත්‍රයාණන්ට ද වර දී තිබේ.</verse>
				<verse number="27">තවද පුත්‍රයාණන්, මනුෂ්‍ය පුත්‍රයාණන් බැවින්, විනිශ්චය කිරීමේ අධිකාරිත්වය උන්වහන්සේ පුත්‍රයාණන්ට දී තිබේ.</verse>
				<verse number="28">“මේ ගැන පුදුම වන්න එපා. සොහොනේ නිදන මළවුන් උන්වහන්සේගේ කටහඬ අසන පැය උදා වෙයි.</verse>
				<verse number="29">එවිට යහපත කළෝ, ජීවනයේ නැවත නැගිටීමටත්, දුෂ්ටකම් කළෝ, දඬුවම් විඳීමේ නැවත නැගිටීමටත් පිටතට එන්නෝ ය.</verse>
				<verse number="30">තනි කැමැත්තට කිසිවක් කරන්නට මට නො හැකියි. මා විනිශ්චය කරන්නේ මට ඇසෙන විදියටයි; මගේ විනිශ්චය සාධාරණයි; මන්ද මා මගේ කැමැත්ත නො ව, මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත සොයන නිසයි.</verse>
				<verse number="31">“මා, මා ගැනම සාක්ෂි දෙන්නේ නම් ඒ සාක්ෂිය වලංගු නැත.</verse>
				<verse number="32">මා උදෙසා සාක්ෂි දෙන කෙනෙක් සිටී; මා ගැන උන්වහන්සේගේ සාක්ෂිය සත්‍යය බව මම දනිමි.</verse>
				<verse number="33">“ඔබ යොහන් ළඟට මිනිසුන් යැවූ විට ඔහු සත්‍යයට සාක්ෂි දැරී ය.</verse>
				<verse number="34">මා මෙසේ කියන්නේ, මිනිසකුගේ සහතිකයක් ලබන නිසා නො ව, ඔබේ ගැලවීම සඳහායි.</verse>
				<verse number="35">යොහන් ඇවිළෙන, බැබළෙන පහනක්ව සිටි සමයේ ඔබත් කලක් ඔහුගේ එළියෙන් ප්‍රමෝද වූවහු ය.</verse>
				<verse number="36">“එනමුත් මට තිබෙන්නේ යොහන්ගේ සාක්ෂියට වඩා උතුම් සාක්ෂියකි. ඉෂ්ට කරන පිණිස පියාණන්වහන්සේ මට පැවරූ කාර්ය වන මා දැන් කරගෙන යන වැඩ කොටස, පියාණන්වහන්සේ මා එවූ බවට සාක්ෂි දරයි.</verse>
				<verse number="37">මා එවූ පියාණන්වහන්සේ ම මා ගැන සාක්ෂි දරා ඇත. කිසි දින ඔබ උන්වහන්සේගේ කටහඬ ඇසුවේවත්, උන්වහන්සේගේ රූපකාය දුටුවේවත් නැත.</verse>
				<verse number="38">උන්වහන්සේගේ වචන ඔබ තුළ රඳන්නේ නැත; මන්ද උන්වහන්සේ විසින් එවන ලද තැනැත්තාණන් ඔබ විශ්වාස කරන්නේ නැත.</verse>
				<verse number="39">ඔබ ශුද්ධ ලියවිලි පිරික්සන්නේ සදාතන ජීවනය ඒවායේ ගැබ්ව ඇතැයි යන අදහසින්. මා ගැන සාක්ෂි දරන්නේ ද එම ලියවිලිමයි.</verse>
				<verse number="40">එහෙත් ඒ ජීවනය ලැබීමට මා වෙත ඒම, ඔබ ප්‍රතික්ෂේප කරයි.</verse>
				<verse number="41">“මිනිස් ගරු පැසසුම් මා පිළිගන්නේ නැත.</verse>
				<verse number="42">ඔබේ හදේ දෙවියන්වහන්සේට ප්‍රේමයක් නැති වග මම දනිමි.</verse>
				<verse number="43">මා මගේ පියාණන්වහන්සේගේ නාමයෙන් ආ නමුත් ඔබ මා පිළිගන්නේ නැත; එහෙත්, යමෙක් තමාගේම නාමයෙන් ආවොත් ඔබ ඔහු පිළිගනු ඇත.</verse>
				<verse number="44">එනිසා එකම දෙවියන්වහන්සේ වෙතින් එන ගෞරවය නො සොයා, තම තමන් අතරේ එකිනෙකා වර්ණනා කරගන්නා ඔබ, විශ්වාස කරන්නේ කොහොම ද?</verse>
				<verse number="45">“ඔබට විරුද්ධව පියාණන්වහන්සේ ඉදිරියේ මම පැමිණිලි කරතැයි නො සිතන්න; එහෙත් ඔබට චෝදනා කරන කෙනෙක් සිටී. ඒ, ඔබ බලාපොරොත්තු තබා සිටින මෝසෙස්ම ය.</verse>
				<verse number="46">ඔබ මෝසෙස් විශ්වාස කරනවා නම්, මා ද විශ්වාස කරනු ඇති; ඒ, ඔහු මා ගැන ලියූ නිසයි.</verse>
				<verse number="47">මෝස‍ෙස්ගේ ලියවිලි විශ්වාස කරන්නේ නැති ඔබ, මගේ වචන විශ්වාස කරන්නේ කොහොම දැ?” යි කී සේක.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">මෙයින් පසු යේසුස්වහන්සේ තිබේරියස් නම් වූ ගලීල මුහුදින් එතෙරට ගිය සේක.</verse>
				<verse number="2">උන්වහන්සේ රෝගීන් උදෙසා දක්වා තිබූ අනුහස් ලකුණු දැක තිබූ බැවින් විශාල පිරිසක් උන්වහන්සේ පසුපස ගියහ.</verse>
				<verse number="3">කන්දට නැගුණු යේසුස්වහන්සේ තම ගෝලයින් සමඟ වාඩිගත් සේක.</verse>
				<verse number="4">යුදෙව්වන්ගේ පාස්කු මංගල උත්සවය ළංව තිබිණි.</verse>
				<verse number="5">දෑස් දල්වා බලා විශාල පිරිසක් තමන් වෙත එනු දුටු යේසුස්වහන්සේ පිලිප් අමතා, “මේ ජනකායට කෑමට අප කොහෙන් රොටි මිලට ගන්න දැ?” යි ඇසූ සේක.</verse>
				<verse number="6">උන්වහන්සේ එසේ ඇසුවේ ඔහු සෝදිසි කරන අටියෙනි. මන්ද තමන් කරන්නට යන්නේ කුමක්දැයි උන්වහන්සේ දැන සිටි සේක.</verse>
				<verse number="7">පිලිප් පිළිතුරු දෙමින්, “එකිනෙකාට ටික ටිකවත් කෑමට, ඩිනාරි දෙසියයක රොටි ගෙනාවත් මදි වේවි” යි කීවේ ය.</verse>
				<verse number="8">සීමොන් පේතෘස්ගේ සහෝදර, උන්වහන්සේගේ තවත් ගෝලයකු වූ අන්දෘ උන්වහන්සේ අමතමින්,</verse>
				<verse number="9">“යව රොටි පහකුත්, මසුන් දෙදෙනකුත් ඇති ළමයෙක් මෙහි සිටියි. ඒත් මෙතරම් සෙනඟකට එය මක්කරන්න දැ?” යි පැවසී ය.</verse>
				<verse number="10">“මිනිසුන් හිඳුවන්නැ” යි යේසුස්වහන්සේ කී සේක. එතැන බෙහෙවින් තණ වැවී තිබිණ. ගණනින් පන්දහසක් පමණ වූ පිරිමි හිඳ ගත්හ.</verse>
				<verse number="11">යේසුස්වහන්සේ ඒ රොටි ගත් සේක්, තුති පුදා, එතැන හිඳ සිටි ජනයාට ඒවා බෙදා දුන් සේක. මසුන් ද ඔවුන්ට අවැසි තරම් බෙදූ සේක.</verse>
				<verse number="12">මෙසේ ඔවුන් කුස පිරෙන්නට කෑ පසු, තම ගෝලයින් ඇමතූ උන්වහන්සේ, “ඉතිරි වූ කැබලි එකතු කරන්න; කිසිවක් අපතේ නාරින්නැ” යි පැවසූ සේක.</verse>
				<verse number="13">එබැවින් ඒ යව රොටි පහෙන් ඔවුන් කා ඉතිරි වූ කැබලි එකතු කළ ඔවුහු ඒවායින් කූඩ දොළහක් පිරවූහ.</verse>
				<verse number="14">උන්වහන්සේ පෑ මෙම අනුහස් ලකුණ දුටු ජනයා, “ඇත්තෙන්ම, ලොවට එන්නට සිටින දිවැසිවරයා මෙතුමාණෝ” යි කියන්නට වන්හ.</verse>
				<verse number="15">බලහත්කාරයෙන් තමන් රජකමට පත් කර ගන්නට ඔවුන් අර අඳින බව දැනගත් යේසුස්වහන්සේ, හුදෙකලා වී, යළි කන්දට නැගුණු සේක.</verse>
				<verse number="16">සවස් වූ කල උන්වහන්සේගේ ගෝලයෝ බැස, මුහුදට අවුත්,</verse>
				<verse number="17">ඔරුවක නැගී, මුහුද හරහා කපර්ණවුම් බලා යාත්‍රා කළහ. අඳුර ද පැතිරෙමින් තිබිණි. ඒ වන තුරුත් යේසුස්වහන්සේ ඔවුන් වෙතට පැමිණ සිටියේ නැත.</verse>
				<verse number="18">සැඩ කුණාටුවක් හමා, මුහුද රළු වන්නට විය.</verse>
				<verse number="19">ඔවුහු සැතපුම් තුනක්, හතරක් පමණ ඔරුව පැදවූ පසු, ඔවුන් දුටුවේ යේසුස්වහන්සේ මුහුදු දිය මත ඇවිදිමින් ඔරුවට ළඟා වන අයුරු ය; ඔවුහු ඒ දැක, බය වූහ.</verse>
				<verse number="20">එහෙත් උන්වහන්සේ, “මේ මමයි; බය වන්න එපා” යි කී සේක.</verse>
				<verse number="21">එවිට උන්වහන්සේ ඔරුවට නංවා ගන්නට ඔවුහු කැමති වූහ. එකෙණෙහිම, ඔරුව ඔවුන් යන්නට සිටි ගොඩබිමට සේන්දු විය.</verse>
				<verse number="22">පසු දා, මුහුදින් එතෙර නැවතී සිටි සමූහයා දැන සිටියේ එහි වූයේ එක් ඔරුවක් පමණක් බවත්, තම ගෝලයින් සමඟ යේසුස්වහන්සේ ඒ ඔරුවට නැගුණේ නැති බවත්, ගෝලයින් තනිව ඉවත්ව ගිය බවත් ය.</verse>
				<verse number="23">එහෙත් ස්වාමින්වහන්සේ තුති දුන් පසු, ජනයා රොටි කෑවායින් පසු පෙදෙස අසලට එවෙලේ තිබේරියස්හි සිට ඔරු කිහිපයක් ළඟා විණි.</verse>
				<verse number="24">යේසුස්වහන්සේත්, ගෝලයිනුත් මෙතෙර නො මැති බව වටහා ගත් ජන සමූහයා එම ඔරුවල නැගී, යේසුස්වහන්සේ සොයමින් කපර්ණවුම් බලා ගියහ.</verse>
				<verse number="25">මුහුදින් එතෙරදී උන්වහන්සේ හමු වූ කල, ඔවුහු උන්වහන්සේ අමතමින්, “රබ්බී, ඔබතුමා මෙහි ආවේ කොයි වේලේ දැ?” යි ඇසූහ.</verse>
				<verse number="26">යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, ඔබ මා සොයන්නේ, අනුහස් ලකුණු දුටු නිසා නො ව, රොටි කෑමෙන් සෑහීමට පත් වූ නිසයි.</verse>
				<verse number="27">දිරා ජරාවට යන ආහාර සඳහා නො වෙහෙසී, මනුෂ්‍ය පුත්‍රයාණන් ඔබට දෙන සදාතන ජීවනයට පවතින ආහාර සඳහා වෙහෙසෙන්න. මන්ද උන්වහන්සේ පිට පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ තම මුද්‍රාව තබා ඇතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="28">එවිට ඔවුහු, “දෙවියන්වහන්සේගේ කාරිය ඉෂ්ට කරන්නට අප කුමක් කළ යුතු දැ?” යි උන්වහන්සේගෙන් විමසූහ.</verse>
				<verse number="29">යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේගේ කාරිය මෙයයි; උන්වහන්සේ එවූ තැනැත්තාණන් ඔබ අදහා ගැනීමයි” කී සේක.</verse>
				<verse number="30">එකල උන්වහන්සේ ඇමතූ ඔවුහු, “හොඳයි, කවර අනුහස් ලකුණක් ද ඔබ ගෙන හැර පාන්නේ, අප එය දැක බලා, ඔබ අදහා ගැනීමට? කුමක් ද ඔබ කර පෙන්වන්නේ?</verse>
				<verse number="31">අපේ පියවරුන් කාන්තාරයේදී මන්නා කෑවේ, ‘ආහාර පිණිස උන්වහන්සේ ඔවුන්ට ස්වර්ගයෙන් රොටි දුන් සේකැ’ යි ලියා තිබෙන ලෙසයැ” යි පැවසූහ.</verse>
				<verse number="32">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, ස්වර්ගයෙන් ඔබට රොටි දුන්නේ මෝසෙස් නො වන බවයි; ස්වර්ගයේ සිට සැබෑ වූ රොටි ඔබට දෙන්නේ මගේ පියාණන්වහන්සේයි.</verse>
				<verse number="33">මන්ද දෙවියන්වහන්සේගේ රොටි නම්, ස්වර්ගයෙන් බැස ආවාවූ, ලෝකයට ජීවනය දෙන තැනැත්තාණන් යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="34">එවිට ඔවුහු, “හැම විට අපට ඒ රොටි දෙන්න මැතිඳුනි” යි පැවසූහ.</verse>
				<verse number="35">එවිට යේසුස්වහන්සේ, “ජීවනදායක රොටි මමයි; මා වෙත එන කවරකුට වුවත්, කිසි කල සාගිනි නො වේ. මා අදහා ගන්නා කවරකුට වුවත්, කිසි කල පිපාස නො වේ.</verse>
				<verse number="36">එනමුත් මා ඔබට කී ලෙස ඔබ මා දුටුවහ; එහෙත් ඔබ මා අදහා ගන්නේ නැත.</verse>
				<verse number="37">පියාණන්වහන්සේ මට දෙන සැවොම මා කරා එන්නෝ ය; මා වෙත එන කවරකු වුවත් කිසි කල මා ඉවත දමන්නේ නැත.</verse>
				<verse number="38">මන්ද ස්වර්ගයෙන් බැස මා ආවේ, මගේම කැමැත්ත කරන්නට නො ව මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත ඉටු කරන්නටයි.</verse>
				<verse number="39">මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත මෙයයි; උන්වහන්සේ මට දුන් සියල්ලන්ගෙන් එක් කෙනකුවත් නැති කර නො ගෙන, අවසන් දවසේ ඔවුන් නැගිටුවීමයි.</verse>
				<verse number="40">මන්ද මගේ පියාණන්වහන්සේ කැමති, ස්වකීය පුත්‍රයාණන් දෙස බලා, උන්වහන්සේ අදහා ගන්න හැම කෙනකුම සදාතන ජීවනය ලැබීමයි. අවසාන දවසේදී මම ඔහු නැගිටුවන්නෙමි” යි පැවසූ සේක.</verse>
				<verse number="41">මෙවිට, “ස්වර්ගයෙන් බැස ආ රොටි මම යැ” යි උන්වහන්සේ කී බැවින්, යුදෙව්වෝ උන්වහන්සේ ගැන මැසිවිලි නගමින්,</verse>
				<verse number="42">“මේ යේසුස්, අර යෝසෙප්ගේ පුතා නො වේ ද? මොහුගේ පියාත් මවත් අප හඳුනද්දී මොහු ස්වර්ගයෙන් බැස ආවා ය කියන්නේ කොහොම දැ?” යි පවසන්නට වූහ.</verse>
				<verse number="43">“ඔබ අතරේ ඔය මැසිවිල්ල නවතන්නැ” යි පිළිතුරු දුන් යේසුස්වහන්සේ,</verse>
				<verse number="44">“මා එවූ පියාණන්වහන්සේ විසින් ඇදගනු ලබන කෙනකුට මිස, අන් කිසිවකුටත් මා වෙත ආ නො හැකියි. අවසාන දවසේදී මම ඔහු නැගිටුවන්නෙමි.</verse>
				<verse number="45">‘ඔබගේ පුතුන් සැවොම ස්වාමින්වහන්සේ විසින් උගන්වනු ලබතියි’ දිවැසිවරුන් ලියා තියේ. පියාණන්වහන්සේට සවන් දුන්, උන්වහන්සේගෙන් ඉගෙන ගත් හැම කෙනෙක්ම මා වෙත එත්මැයි.</verse>
				<verse number="46">දෙවියන්වහන්සේගෙන් වූ තැනැත්තා හැර, අන් කිසිවකු පියාණන්වහන්සේ දැක නැත. උන්වහන්සේ පියාණන්වහන්සේ දැක ඇත.</verse>
				<verse number="47">සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, විශ්වාස කරන්නාට සදාතන ජීවනය ලැබෙන බවයි.</verse>
				<verse number="48">ජීවනදායක රොටි මමයි.</verse>
				<verse number="49">ඔබේ පියවරු කාන්තාරයේදී මන්නා කෑ නමුත්, ඔවුහු ද නැසී ගියහ.</verse>
				<verse number="50">කෙනකු එයින් කෑමෙන් පසු, නො නසින පිණිස, ස්වර්ගයෙන් බැස ආ රොටි මෙන්න;</verse>
				<verse number="51">ස්වර්ගයෙන් බැස ආ ජීවනදායක රොටි මමයි. යම් කෙනෙක් මේ රොටි කෑවොත් ඔහු සදහට ජීවත් වෙයි. ලෝකයාගේ ජීවනය සඳහා මා දෙන රොටි මගේ මාංසයැ” යයි ප්‍රකාශ කළ සේක.</verse>
				<verse number="52">එවිට ඔවුනොවුන් අතරේ තර්ක කරන්නට පටන් ගත් යුදෙව්වෝ, “කොහොම ද මේ මිනිහා අපට ඔහුගේ මාංස කන්නට දෙන්නේ?” යි පවසන්නට වූහ.</verse>
				<verse number="53">යේසුස්වහන්සේ ඔවුන්ට කතා කරමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ මාංස කෑවොත් මිස, උන්වහන්සේගේ ලෙය බීවොත් මිස, ඔබ තුළ ජීවනය නැත.</verse>
				<verse number="54">මාගේ මාංසයෙන් හා රුධිරයෙන් පෝෂ්‍ය වන කවරකුට වුවත්, සදාතන ජීවනය ලැබෙයි. අවසාන දවසේ මම ඔහු නැගිටුවන්නෙමි.</verse>
				<verse number="55">මන්ද අව්‍යාජ ආහාරය මගේ මාංසයයි; අව්‍යාජ පානය මාගේ රුධිරයයි.</verse>
				<verse number="56">මාගේ මාංසය ආහාරයට ගන්නා තැනැත්තා, මාගේ රුධිරය පානයට ගන්නා තැනැත්තා, මා තුළ පවතී. මමත් ඔහු තුළ පවතින්නෙමි.</verse>
				<verse number="57">ජීවමාන පියාණන්වහන්සේ මා එවූ සේ ම, පියාණන්වහන්සේ නිසා මා ජීවත් වන්නේ යම් සේ ද, මගෙන් පෝෂ්‍යවන්නා මා නිසා ජීවත් වෙයි.</verse>
				<verse number="58">ස්වර්ගයෙන් බැස ආ රොටි මෙයයි; ඔබේ පියවරු මන්නා කෑහ; ඔවුහු මළහ. එහෙත් මේ රොටි ආහාරයට ගන්නා තැනැත්තා සදාතනිකව ජීවත් වේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="59">යේසුස්වහන්සේ මේ දෑ පැවසුවේ කපර්ණවුම්හි සිනගෝගයේ උගන්වමින් සිටියදී ය.</verse>
				<verse number="60">ඒ ඇසූ උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක්, “මේක මහ තද කියමනක්. ඕවා අහන්න පුළුවන් කවුරුන්ට දැ?” යි කීහ.</verse>
				<verse number="61">තම ගෝලයින් ඒ ගැන මැසිවිලි නගන වග තමා තුළ දැනගත් යේසුස්වහන්සේ, “කිම ද? ඔබටත් මෙය පැකිළීමක් ද?</verse>
				<verse number="62">එසේ නම් මනුෂ්‍ය පුත්‍රයා පෙර සිටි තැනට නැගී යනවා ඔබ දුටුවොත් කොහොම ද?</verse>
				<verse number="63">ජීවනය දෙන්නේ ආත්මයාණෝයි. මාංසය ප්‍රයෝජනවත් නො වේ. මා ඔබට පැවසූ වචන ආත්මය හා ජීවනයයි.</verse>
				<verse number="64">එනමුත් ඔබගෙන් ඇතමෙක් විශ්වාස කරන්නේ නැතැ” යි කී සේක. මන්ද විශ්වාස නො කරන්නේ කවුරු ද, තමා පාවා දෙන්නේ කවුරු ද යන්න යේසුස්වහන්සේ මුල පටන්ම දැන සිටි බැවිනි.</verse>
				<verse number="65">උන්වහන්සේ කතා කරමින්, “මේ නිසයි මා ඔබට කීවේ, මගේ පියාණන්වහන්සේගෙන් අනුමැතිය ලැබූ කෙනකුට මිස, කිසිවකුටත් මා වෙත එන්නට නො හැකි ය කියා” යි පැවසූ සේක.</verse>
				<verse number="66">මේ නිසා උන්වහන්සේගේ ගෝලයින් බොහෝ දෙනෙක් ආපසු හැරී ගියෝ තවදුරටත් උන්වහන්සේ සමඟ ගමන් නො කළහ.</verse>
				<verse number="67">යේසුස්වහන්සේ දොළොස් දෙනා අමතමින්, “ඔබටත් ඒ වගේ හැරී යන්නට ඕනෑ දැ?” යි ඇසූ සේක.</verse>
				<verse number="68">සීමොන් පේතෘස් උන්වහන්සේට පිළිතුරු දෙමින්, “ස්වාමිනි, අප කවුරු ළඟට යන්න ද? සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබටයි.</verse>
				<verse number="69">දෙවියන්වහන්සේගේ ශුද්ධ තැනැත්තාණෝ ඔබ බව අපි විශ්වාස කරගෙන සිටිමු; අපි එය දනිමු.” යි පැවසී ය.</verse>
				<verse number="70">එවිට යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ දොළොස් දෙනා තෝරා ගත්තේ මා නො වේ ද? එනමුත් ඔබෙන් කෙනෙක් යක්ෂයෙකැ” යි කී සේක.</verse>
				<verse number="71">එසේ කීවේ සීමොන් ඉස්කාරියොත්ගේ පුත්‍ර යූදස් ගැන ය. දොළොස් දෙනාගෙන් කෙනකු වූ නමුත්, පසුව උන්වහන්සේ පාවා දෙන්නට සිටියේ ඔහු ය.</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">මෙයින් පසු යේසුස්වහන්සේ ගලීලයේ සැරි සැරූ සේක. යුදෙව්වන්, උන්වහන්සේ මරා දමන්නට සෙවූ බැවින්, යුදයේ තැනින් තැන යෑමට උන්වහන්සේ නො කැමති වූ සේක.</verse>
				<verse number="2">යුදෙව් කූඩාරම් මංගල්‍යය ළං වූයෙන්,</verse>
				<verse number="3">උන්වහන්සේගේ සහෝදරයෝ උන්වහන්සේට කතා කොට, “ඔබ කරන වැඩ ඔබේ ගෝලයින් ද දකින පිණිස, මෙහෙන් නික්ම යුදයට යන්න;</verse>
				<verse number="4">ප්‍රසිද්ධිය සොයන කිසි කෙනෙක් රහසේ කටයුතු කරන්නේ නැහැ. ඔබ මේ දේවල් කරන බැවින් ලෝකයාට ප්‍රකාශ වන්නැ” යි කීහ.</verse>
				<verse number="5">මන්ද උන්වහන්සේගේ සහෝදරයින් පවා උන්වහන්සේ විශ්වාස කළේ නැත.</verse>
				<verse number="6">යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මගේ වෙලාව තවම පැමිණ නැත. එහෙත් ඔබට කවර වේලාවත් සුදුසුයි.</verse>
				<verse number="7">ඔබට වෛර කරන්නට ලෝකයට නුපුළුවන; එහෙත් එය මට වෛර කරයි. මන්ද එහි වැඩ නපුරු බවට මා සාක්ෂි දරන බැවිනි.</verse>
				<verse number="8">ඔබ මංගල්‍යයට යන්න. මා දැන්ම මේ මංගල්‍යයට යන්නේ නෑ; තවමත් මගේ හරි වෙලාව පැමිණ නැතැ” යි කී සේක.</verse>
				<verse number="9">එසේ පැවසූ පසු, උන්වහන්සේ ගලීලයේ ම නැවතී සිටි සේක.</verse>
				<verse number="10">කෙසේ වෙතත් තම සහෝදරයින් මංගල්‍යයට පිටත්ව ගිය පසු, උන්වහන්සේ ද ප්‍රසිද්ධියේ නො ව, රහසින් මෙන් එහි ගිය සේක.</verse>
				<verse number="11">මේ අතර යුදෙව්වෝ මංගල්‍යයේදී උන්වහන්සේ සොයමින්, “කෝ ඔහු කොහේ දැ?” යි කීවෝ ය.</verse>
				<verse number="12">ජනයා අතරේ උන්වහන්සේ පිළිබඳ මහ කසුකුසුවක් හට ගත්තේ ය. “ඔහු සත්පුරුෂයෙකැ” යි සමහරු කී අතර, “නැත, ඔහු ජනයා මුළා කරන්නෙකැ” යි අන් සමහරු කීහ.</verse>
				<verse number="13">එහෙත් යුදෙව්වන්ට ඇති බය නිසා කිසිවකුත් උන්වහන්සේ ගැන එළිපිට කතා කළේ නැත.</verse>
				<verse number="14">මංගල්‍යය මැද හරියේදී, දේව මාලිගාවට පිවිසුණු යේසුස්වහන්සේ උගන්වන්නට පටන් ගත් සේක.</verse>
				<verse number="15">යුදෙව්වෝ මවිතව, “කිසි දා ඉගෙන ගත්තේ නැති මේ මිනිහාට මේ දැනුම කොයින් දැ!” යි කීහ.</verse>
				<verse number="16">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මගේ ඉගැන්වීම් මගේම නො වෙයි; මා එවූ තැනැන්වහන්සේගෙයි.</verse>
				<verse number="17">මේ ඉගැන්වීම් දෙවියන්වහන්සේගෙන් පැමිණි ඒවා ද, නැතිනම් මා මගේම අධිකාරිත්වයෙන් කතා කරනවා ද යන්න දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නට කැමති කෙනකු දැනගනු ඇත.</verse>
				<verse number="18">තමාගේම මතය කතා කරන්නා, තමාගේම ගෞරවය සොයයි. එහෙත් තමා එවූ තැනැන්වහන්සේගේ ගෞරවය සොයන්නා සත්‍යමය කෙනෙක්. ඔහු තුළ ව්‍යාජත්වයක් නැහැ.</verse>
				<verse number="19">මෝසෙස් ඔබට නීති සංග්‍රහයක් දුන්නේ නැද්ද? එහෙත් ඔබ කිසිවකුත් ඒ නීති පිළිපදින්නේ නැහැ. ඔබ මා මරන්ට හදන්නේ මොකදැ?” යි ඇසූ සේක.</verse>
				<verse number="20">“ඔබට යක්ෂාත්මයක් වැහිලා; කවුරු ද ඔබ මරන්ට සොයන්නේ?” යි සමූහයා එවිට පිළිතුරු දුන්හ.</verse>
				<verse number="21">යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “මා එක් ක්‍රියාවක් කළා; ඔබ හැම එයින් මවිත වෙලා.</verse>
				<verse number="22">මෝසෙස් ඔබට චර්ම-ඡේදනය දී තිබෙනවා. (ඇත්තෙන්ම එය මෝසෙස්ගෙන් නො ව ආදි පියවරුන්ගෙන්.) ඔබ සබතේදී කෙනකු චර්මඡේද කරයි.</verse>
				<verse number="23">මෝස‍ෙස්ගේ නීතිය කඩ නො වන සේ සබත් දවසේ මිනිසකු චර්මඡේද කළ හැකි නම්, සබත් දවසේ මිනිසකු මුළුමනින් සුව කිරීම ගැන මා සමඟ උරණ වන්නේ මොකද?</verse>
				<verse number="24">පෙනෙන්නට ඇති දෙයින් විනිශ්චය නො කරනු; විනිශ්චය සාධාරණව කරනු” යි පැවසූ සේක.</verse>
				<verse number="25">මේ නිසා යෙරුසලම් වාසී ඇතමෙක් අදහස් දක්වමින්, “ඔවුන් මරන්නට සොයන්නේ මේ මිනිසා නො වේ ද?</verse>
				<verse number="26">මෙන්න, ඔහු එළිපිටම කතා කරයි. ඒත් කෝ! කිසිවෙක් ඔහුට කිසිවක් කියන්නේ නැත. මෙතුමා ක්‍රිස්තුස්වහන්සේ වග අධිකාරීන් සැබෑවටම දැනගෙනවත් ද?</verse>
				<verse number="27">මොහු ආවේ කොහෙන්දැයි අප දන්නවා. එහෙත් ක්‍රිස්තුස්වහන්සේ පැමිණියාම උන්වහන්සේ කොහි සිට එනවා ද කියා කිසිවකුත් දන්නේ නැතැ” යි කීහ.</verse>
				<verse number="28">දේව මාලිගාවේ උගන්වමින් සිටි යේසුස්වහන්සේ උස් හඬ නගමින්, “ඔබ මා දන්නවා; මා ආවේ කොහේ සිටදැයි ඔබ දන්නවා. මා ආවේ මගේම කැමැත්තෙන් නො වෙයි. මා එවූ තැනැන්වහන්සේ සත්‍යයයි. ඔබ උන්වහන්සේ හඳුනන්නේ නැහැ.</verse>
				<verse number="29">එහෙත් මා උන්වහන්සේ හඳුනනවා. මන්ද මා එන්නේ උන්වහන්සේ වෙතින්; මා එවුවේ උන්වහන්සේ යැ” යි කී සේක.</verse>
				<verse number="30">එවිට ඔවුහු උන්වහන්සේ අල්ලා ගැනීමට තැත් දැරූ නමුදු, කිසිවකුත් උන්වහන්සේට අත තැබුවේ නැත. මන්ද උන්වහන්සේගේ පැය තවම පැමිණ තිබුණේ නැත.</verse>
				<verse number="31">එසේ වුව ද බොහෝ දෙනෙක් උන්වහන්සේ තුළ විශ්වාසය තැබූහ. ඔවුහු කතා කරමින්, “ක්‍රිස්තුස්වහන්සේ පැමිණියාම මේ මිනිසා කරනවාටත් වඩා අනුහස් ලකුණු කරාවි දැ?” යි කීහ.</verse>
				<verse number="32">උන්වහන්සේ ගැන ජනයා කසුකුසුවෙන් කී ඒ දෑ පරිසිවරුන්ට ඇසුණි. නායක පූජකවරු හා පරිසිවරු උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට දේව මාලිග මුර සෙබළුන් යැවූහ.</verse>
				<verse number="33">එවිට යේසුස්වහන්සේ කතා කරමින්, “තව ටික කලක් මා ඔබ අතරේ ඉන්නවා. ඉන්පසු මා එවූ තැනැන්වහන්සේ වෙත මා යනවා.</verse>
				<verse number="34">ඔබ මා සොයනු ඇත. එහෙත් ඔබට මා හමුවන්නේ නැත. මා සිටින තැනට එන්නට ඔබට නුපුළුවනැ” යි පැවසූ සේක.</verse>
				<verse number="35">යුදෙව්වෝ එකිනෙකාට කතා කරමින්, “මේ මිනිසා සිතා සිටින්නේ අපට සොයාගන්නට බැරි ලෙස කොහේ යන්නට ද? ග්‍රීක්වරුන් අතර විසිරවනු ලැබූවන් වෙත ගොස්, ග්‍රීකවරුන්ට උගන්වන්නට අදහස් කරනවා ද?</verse>
				<verse number="36">‘ඔබ මා සොයනු ඇත. එනමුත් ඔබට මා හමුවන්නේ නැත’ කියා හා ‘මා සිටින තැනට එන්නට ඔබට නුපුළුවන’ කියා කීමෙන් ඔහු අදහස් කරන්නේ කුමක් දැ?” යි ඇසූහ.</verse>
				<verse number="37">මංගල්‍යයේ අවසාන දවස වන වැදගත්ම දවසේ නැගී සිටි යේසුස්වහන්සේ මහ හඬින් කතා කරමින්, “යම් කෙනකුට පිපාස ද, ඔහු මා වෙත ඇවිත් පානය කරත්වා!</verse>
				<verse number="38">මා තුළ විශ්වාස කරන කවරකු වුව ද ශුද්ධ ලියවිල්ලේ සඳහන් පරිදි, ඔහුගේ හද තුළින් ජීවන ගංගා ගලා යන්නේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="39">උන්වහන්සේ ඉන් අදහස් කළේ, උන්වහන්සේ තුළ විශ්වාසය තැබූ අය මතු ලබන්නට සිටි ආත්මයාණන් ගැන ය. ඒ වන තෙක් ආත්මයාණන් දෙනු ලැබ තිබුණේ නැත. මන්ද තවමත් යේසුස්වහන්සේ මහිමයට පමුණුවන ලද්දේ නැත.</verse>
				<verse number="40">ඒ ඇසූ ජනයාගෙන් ඇතැම් දෙනෙක්, “නිසැකයෙන්ම මේ දිවැසිවරයා යැ” යි කීහ.</verse>
				<verse number="41">අන් සමහරු, “මේ නම් ක්‍රිස්තුස්වහන්සේ යැ” යි කීහ. තවත් අය, “ක්‍රිස්තුස්වහන්සේ ගලීලයෙන් ඒ ද?</verse>
				<verse number="42">ක්‍රිස්තුස්වහන්සේ පැමිණෙන්නේ දාවිත්ගේ වංශයෙන් බවත්, දාවිත් සිටි ගම වන බෙත්ලෙහෙමෙන් බවත් ශුද්ධ ලියවිල්ල කියනවා නො වේ දැ?” යි ඇසූහ.</verse>
				<verse number="43">මෙසේ එහි උන්වහන්සේ ගැන ජනයා අතරේ බෙදීමක් ඇති විය.</verse>
				<verse number="44">උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට ඇතැම් දෙනකුට ඕනෑ වුව ද, කිසිවකුත් උන්වහන්සේට අත තැබුවේ නැත.</verse>
				<verse number="45">දේව මාලිග මුර සෙබළුන් ආපසු නායක පූජකවරුන් හා පරිසිවරුන් වෙත ආ කල, “නුඹලා ඔහු නො ගෙනාවේ මන්දැ?” යි ඔවුහු ඇසූහ.</verse>
				<verse number="46">දේව මාලිග මුර සෙබළු පිළිතුරු දෙමින්, “මේ මනුෂ්‍යයා කතා කරන විදියට කිසිවෙක් කිසි කලෙක කතා කර නැතැ” යි කීහ.</verse>
				<verse number="47">එවිට පරිසිවරු පිළිතුරු දෙමින්, “නුඹලාත් මුළා වුණා ද?</verse>
				<verse number="48">අධිකාරීන්ගෙන් හෝ පරිසිවරුන්ගෙන් කිසි කෙනෙක් ඔහු තුළ විශ්වාස කරනවා ද?</verse>
				<verse number="49">එහෙත් දහම් නීතිය ගැන නො දන්නා මේ ජන සමූහයා ශාප ලද්දවුන්” යැයි පැවසූහ.</verse>
				<verse number="50">එවිට ඔවුන්ගේම සාමාජිකයකු වූ වරක් යේසුස්වහන්සේ හමුවීමට පැමිණි නිකදේමුස් කතා කොට,</verse>
				<verse number="51">“පළමුව කරුණු අසා, ඔහු කර ඇති දෑ විමසා මිස, අපේ නීතිය මිනිසකු විනිශ්චය කරනවා දැ?” යි ඇසී ය.</verse>
				<verse number="52">“ඔබත් ගලීලයෙක් ද? ලියවිලි කියවා බලන්න. ගලීලයෙන් දිවැසිවරයකු නො එන බව එවිට ඔබටත් වැටහේවි” යි ඔවුහු පිළිතුරු දුන්හ.</verse>
				<verse number="53">ඉන් අනතුරුව සැවොම තම තමන්ගේ නිවෙස් බලා ගියහ.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">එහෙත්, යේසුස්වහන්සේ ඔලීව කන්දට ගිය සේක.</verse>
				<verse number="2">හිමිදිරි උදෙන් උන්වහන්සේ දේව මාලිගයට යළි පැමිණි සේක. ජනයා සැවොම උන්වහන්සේ වෙත ආහ. උන්වහන්සේ හිඳගෙන, ඔවුන්ට උගන්වන්නට පටන් ගත් සේක.</verse>
				<verse number="3">පරපුරුෂ සේවනයේ ගැලෙද්දී අසු වූ ස්ත්‍රියක අල්ලා, ගෙන ආ දහම් පඬිවරු හා පරිසිවරු පිරිස මධ්‍යයේ ඇය සිටුවා,</verse>
				<verse number="4">උන්වහන්සේ අමතමින්, “ගුරුතුමනි, මේ ස්ත්‍රිය අල්ලා ගත්තේ, පරපුරුෂ සේවනයේ ගැලෙද්දීමයි.</verse>
				<verse number="5">දහම් නීතියෙන් මෝසෙස් අපට අණ කර ඇත්තේ, මේ වගේ ස්ත්‍රීන්ට ගල් ගසන්නටයි. මොනවද ඔබ කියන්නේ?” යි ඇසූහ.</verse>
				<verse number="6">ඔවුන් එසේ ඇසුවේ උන්වහන්සේට එරෙහි හේතුවක් අල්ලා ගැනීමේ උගුලක් වශයෙනි. යේසුස්වහන්සේ පහතට නැමී, ඇඟිල්ලකින් බිම යමක් ලියූ සේක.</verse>
				<verse number="7">ඔවුන් දිගටම ප්‍රශ්න කරද්දී, කෙළින් සිටගත් උන්වහන්සේ ඔවුන් අමතමින්, “නුඹලා අතරින් පවක් නො කළ තැනැත්තා ඇයට පළමු ගල ගසත්වා” යි කී සේක.</verse>
				<verse number="8">උන්වහන්සේ නැවතත් බිමට නැමී, ඇඟිල්ලෙන් බිම ලියූ සේක.</verse>
				<verse number="9">ඒ ඇසූ ඔවුහු, වැඩිමහල් අයගෙන් පටන් ගෙන එක් එක්කෙනා ඉවත්ව ගියහ. ඉතිරි වූයේ යේසුස්වහන්සේත් උන්වහන්සේ ඉදිරියේ සිටගෙන සිටි ඒ ස්ත්‍රියත් පමණි.</verse>
				<verse number="10">යේසුස්වහන්සේ කෙළින් වී සිට, ඇය අමතමින්, “කෝ ඔවුන් කොහේ ද? කවුරුවත් ඔබ වරදකරු කළේ නැද්දැ?” යි ඇසූ සේක.</verse>
				<verse number="11">“කවුරුවත් නෑ ස්වාමිනි” යි ඈ කීවා ය. “මමත් ඔබට වරද නො තබමි. යන්න, ආයෙත් පව් නො කරන්නැ” යි යේසුස්වහන්සේ පැවසූ සේක.</verse>
				<verse number="12">යේසුස්වහන්සේ යළිත් ජනයා අමතමින්, “ලෝකයේ ආලෝකය මමයි. මා අනුගමන කරන කවරකු වුවත්, අන්ධකාරයේ ගමන් කරන්නේ නැතිවාත් හැර, ජීවනයේ ආලෝකය ලබන්නේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="13">එවිට පරිසිවරු, “ඔබම ඔබ ගැන සාක්ෂි දෙයි; ඔබගේ සාක්ෂිය වලංගු නැතැ” යි කීහ.</verse>
				<verse number="14">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා ගැන මාම සාක්ෂි දැරුවත්, මගේ සාක්ෂිය සත්‍යයයි; මන්ද මා කොතැනක සිට ආවා ද, කොතැනකට යනවාදැයි මා දන්නවා. එහෙත් මා කොතැනක සිට එනවා ද, කොතැනකට යනවා ද කියා ඔබ දන්නේ නැත.</verse>
				<verse number="15">ඔබ විනිශ්චය කරන්නේ, මානව මිමිවලින්. මා කිසිවකු විනිශ්චය කරන්නේ නෑ.</verse>
				<verse number="16">මා විනිශ්චය කළත් මගේ විනිශ්චය සත්‍යයයි. මන්ද විනිශ්චය කරන්නේ මා තනියෙන් නො වෙයි; මමත්, මා එවූ පියාණන්වහන්සේත් එක්වයි.</verse>
				<verse number="17">දෙදෙනකුගේ සාක්ෂිය වලංගු ය කියා ඔබේ දහම් නීතියේ ලියා තිබේ.</verse>
				<verse number="18">මා ගැන සාක්ෂි දෙන එක සාක්ෂිකරුවෙක් මම; මා ගැන සාක්ෂි දෙන අනෙක් සාක්ෂිකරුවාණෝ මා එවූ පියාණන්වහන්සේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="19">එවිට ඔවුහු “ඔබේ පියා කොහේ දැ?” යි ඇසූහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ මා හඳුනන්නේ නැත. මගේ පියාණන්වහන්සේ හඳුනන්නේ ද නැත. ඔබ මා හැඳිනගතහොත්, මාගේ පියාණන්වහන්සේත් හඳුනා ගනු ඇතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="20">යේසුස්වහන්සේ මෙසේ පැවසුවේ දේව මාලිගයේ පඬුරු ගබඩාව තුළ උගන්වමින් සිටියදී ය. එහෙත් කිසිවකුත් උන්වහන්සේ අත්අඩංගුවට ගත්තේ නැත. මන්ද උන්වහන්සේගේ පැය තවමත් පැමිණ තිබුණේ නැත.</verse>
				<verse number="21">උන්වහන්සේ ඔවුන් අමතමින්, “මම ඉවත්ව යන්නෙමි. ඔබ මා සොයනු ඇත. ඔබ ඔබේම පාප තුළ මැරී යනු ඇත. මා යන තැනට එන්නට ඔබට නුපුළුවනැ” යි කී සේක.</verse>
				<verse number="22">එවිට යුදෙව්වෝ, “ඔහු දිවි නසා ගන්න යනවා ද? ‘මා යන තැනට එන්නට ඔබට නුපුළුවනැ’ යි ඔහු කියන්නේ එනිසා යැ” යි කීහ.</verse>
				<verse number="23">ඔවුන් ඇමතූ උන්වහන්සේ, “නුඹලා පහළින් ය; මම ඉහළිනි. නුඹලා මෙලොවින් ය; මා මෙලොවින් නො වේ.</verse>
				<verse number="24">‘ඔබ ඔබේම පාප තුළ මැරී යනු ඇතැ’ යි මම කීවෙමි. මා උන්වහන්සේ වග ඔබ විශ්වාස නො කළහොත්, ඔබ ඔබේ පාප තුළ මිය යනු ඇතැ” යි කී සේක.</verse>
				<verse number="25">“ඔබ කවුරු දැ?” යි ඔවුහු ඇසූහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මුල පටන්ම මා ඔබට කී දේයි.</verse>
				<verse number="26">ඔබ ගැන කියන්නට හා විනිශ්චය කරන්නට බොහෝ දෑ මට තිබේ. එහෙත් මා එවූ තැනැන්වහන්සේ සත්‍ය ය; මා ලෝකයට ප්‍රකාශ කරන්නේ උන්වහන්සේගෙන් මා ඇසූ දේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="27">උන්වහන්සේ ඔවුන්ට පවසන්නේ, පියාණන්වහන්සේ ගැන වග ඔවුන්ට වැටහුණේ නැත.</verse>
				<verse number="28">එබැවින් ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “ඔබ මනුෂ්‍ය පුත්‍රයා උඩට එසවූ කල, මා උන්වහන්සේ වගත්, පියාණන්වහන්සේ ඉගැන්වූ දේ පවසනවා මිස, මා මගේම ආධිපත්‍යයෙන් කිසිවක් කරන්නේ නැති වගත් ඔබ දැන ගන්නවා ඇති.</verse>
				<verse number="29">මා එවූ තැනැන්වහන්සේ මා සමඟයි. උන්වහන්සේ මා තනිකර නැත; මන්ද මා හැම විට කරන්නේ උන්වහන්සේ ප්‍රසන්න දේ යැ” යි කී සේක.</verse>
				<verse number="30">උන්වහන්සේ මෙසේ පවසද්දී බොහෝ දෙනෙක් උන්වහන්සේ තුළ විශ්වාසය තැබූහ.</verse>
				<verse number="31">තමන් තුළ විශ්වාස කළ යුදෙව්වන් ඇමතූ යේසුස්වහන්සේ, “ඔබ මගේ වචනයේ පිහිටා සිටිනවා නම්, සැබවින් ම ඔබ මාගේ ගෝලයෝයි.</verse>
				<verse number="32">එවිට ඔබ සත්‍යය දැන ගන්නවා ඇත; ඒ සත්‍යය ඔබ නිදහස් කරනු ඇතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="33">ඔවුහු උන්වහන්සේට පිළිතුරු දෙමින්, “අප පැවත එන්නේ ආබ්‍රහම්ගෙන්; අප කිසිදාක, කිසිවකුට වහල්ව සිටියේ නෑ. එහෙම නම්, ‘ඔබ නිදහස් වනු ඇතැ’ යි ඔබ කියන්නේ කොහොම දැ?” යි ඇසූහ.</verse>
				<verse number="34">යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, පව් කරන හැම කෙනෙක්ම පාපයේ වහලකු බවයි.</verse>
				<verse number="35">වහලා සදහට නිවසේ සිටින්නේ නැහැ; එහෙත් පුත්‍රයා සදහට ම එහි සිටී.</verse>
				<verse number="36">එබැවින් පුත්‍රයා ඔබ නිදහස් කරයි නම්, ඔබ සැබවින් ම නිදහස් වෙයි.</verse>
				<verse number="37">ඔබ ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් වග මා දන්නවා. එහෙත් ඔබ, මා මරන්නට සොයයි. මන්ද මගේ වචනයට ඔබ තුළ කිසි ඉඩක් නැත.</verse>
				<verse number="38">මා පවසන්නේ, මගේ පියාණන්ගෙන් මා දුටු දේයි. එමෙන් ඔබ කරන්නේ, ඔබේ පියාගෙන් ඔබ ඇසූ දේ යැ” යි කී සේක.</verse>
				<verse number="39">“අපේ පියා ආබ්‍රහම්” යැයි ඔවුහු පිළිතුරු දුන්හ. යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “නුඹලා ආබ්‍රහම්ගේ දරුවෝ නම්, නුඹලා කළ යුතුව ඇත්තේ ආබ්‍රහම් කළ දෑයි.</verse>
				<verse number="40">නමුත් දෙවියන්වහන්සේගෙන් ඇසූ සත්‍යය ඔබට කී මනුෂ්‍යයකු වන මා මරා දමන්නට නුඹලා සොයයි. ආබ්‍රහම් කළේ එය නො වෙයි.</verse>
				<verse number="41">නුඹලා කරන්නේ, නුඹලාගේ පියා කළ දේ යැ” යි පවසත්ම, ඔවුහු, “අප නම් අවජාතකයෝ නො වෙයි. අපට ඉන්නේ එකම පියෙක්; ඒ දෙවියන්වහන්සේ යැ” යි විරෝධය පෑහ.</verse>
				<verse number="42">යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “දෙවියන්වහන්සේ ඔබගේ පියාණන් නම්, ඔබ මට ප්‍රේම කළ යුතුයි; මන්ද මම දෙවියන්වහන්සේ වෙතින් පැමිණ, දැන් මෙහි සිටින්නෙමි. මා මගේම කැමැත්තට ආවා නො වෙයි. මා එවුවේ උන්වහන්සේයි.</verse>
				<verse number="43">මා කියන දේ ඔබ වටහා නො ගන්නේ මොකද? එසේ වන්නේ මගේ වචන පිළිගන්නට ඔබ අපොහොසත් නිසයි.</verse>
				<verse number="44">නුඹලා, නුඹලාගේ පියා වන යක්ෂයාගෙන්. නුඹලාගේ කැමැත්ත නුඹලාගේ පියාගේ ආශාව ඉෂ්ට කිරීමයි. ඔහු පටන්ගැන්මේ සිට මිනී මරන්නෙක්; සත්‍යය සමඟ ඔහුට කිසි සම්බන්ධයක් නැහැ; මන්ද ඔහු තුළ සත්‍යතාවක් නැහැ. ඔහු බොරු කියන විට, ඔහු ප්‍රකාශ කරන්නේ ඔහුගේ සහජ ගතියයි. මන්ද ඔහු බොරුකාරයෙක්; බොරුවේ පියා ඔහුයි.</verse>
				<verse number="45">එනමුත් මා සත්‍යය පවසන බැවින්, නුඹලා මා විශ්වාස කරන්නේ නැත.</verse>
				<verse number="46">මා පව් කළ වරදකරුවෙකැයි ඔප්පු කළ හැක්කේ ඔබ අතරින් කවරකුට ද?</verse>
				<verse number="47">මා සත්‍යය පවසනවා නම්, ඔබ මා විශ්වාස නො කරන්නේ ඇයි? දෙවියන්වහන්සේට අයිති තැනැත්තා දෙවියන්වහන්සේගේ වචනවලට සවන් දෙයි. ඔබ සවන් නො දීමේ හේතුව ඔබ උන්වහන්සේට අයිති නැතිවීම යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="48">එවිට යුදෙව්වෝ උන්වහන්සේට පිළිතුරු දෙමින්, “ඔබ සමාරියයෙක් කියාත්, ඔබට යක්ෂාත්මයක් වැහිලා ය කියාත් අප කීවා හරි නො වේ දැ?” යි කීවෝ ය.</verse>
				<verse number="49">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මට ඇති යක්ෂාත්මයක් නැහැ; එහෙත් මම මගේ පියාණන්වහන්සේට ගෞරව කරන්නෙමි. නුඹලා මට කරන්නේ අගෞරවයකි.</verse>
				<verse number="50">එසේ වුවත් මා මගේම මහිමය සොයන්නේ නැත. එහෙත් එය සොයන කෙනෙක් ඇත; විනිශ්චයකරුවාණෝ උන්වහන්සේයි.</verse>
				<verse number="51">සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මගේ වචනය පිළිපදින කෙනකු වේ ද, කිසි කල ඔහු මරණය දකින්නේ නැතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="52">එවිට යුදෙව්වෝ, “ඔබට යක්ෂාත්මයක් වැහිලා ය කියා දැන් අප දන්නවා. ආබ්‍රහම් මියැදුණා; දිවැසිවරුන් ද එසේමයි. එහෙත් ඔබ කියන්නේ, ඔබේ වචන පිළිපදින්නා කිසි කල මරණය විඳින්නේ නැත කියායි.</verse>
				<verse number="53">අපේ පියාණන් වූ ආබ්‍රහම්ටත් වඩා ඔබ උත්තමයෙක් ද? ඔහු මියැදුණා; දිවැසිවරුන් ද මියැදුණා. ඔබ කියන්නේ ඔබ කවුරුන් කියා දැ?” යි උන්වහන්සේට කීහ.</verse>
				<verse number="54">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා විසින්ම මා මහිමයට පත් කරගන්නවා නම්, මගේ ඒ මහිමයේ වටිනාකමක් නැහැ. මා මහිමයට පමුණුවන්නේ ඔබ ඔබගේ දෙවියන්වහන්සේ යයි කියන මගේ පියාණන්වහන්සේයි.</verse>
				<verse number="55">ඔබ උන්වහන්සේ දන්නේ නැති නමුත්, මා උන්වහන්සේ දන්නවා. මා උන්වහන්සේ දන්නේ නැතැයි කීවොත් මාත් ඔබ හා සමාන බොරුකාරයෙක් වේවි. එහෙත් මා උන්වහන්සේ දන්නවා. උන්වහන්සේගේ වචනය ද මා රක්ෂා කරනවා.</verse>
				<verse number="56">ඔබේ පියා වූ ආබ්‍රහම් මගේ දවස දකින්නට සිටියේ ප්‍රීතියෙන්; ඔහු එය දැක ප්‍රමෝදයට පත් වී යැ” යි කීවේ ය.</verse>
				<verse number="57">“ඔබට තවම අවුරුදු පණහක්වත් නැහැ; ඔබ ආබ්‍රහම් දුටුවා දැ?” යි එවිට යුදෙව්වෝ උන්වහන්සේගෙන් ඇසූහ.</verse>
				<verse number="58">යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, ආබ්‍රහම් සිටින්නටත් පෙර සිට මම සිටිමි” යි පැවසූ සේක.</verse>
				<verse number="59">එවිට ඔවුහු උන්වහන්සේට දමා ගසන පිණිස, ගල් අවුලා ගත්හ. එහෙත් යේසුස්වහන්සේ මුවා වී, දේව මාලිගාවෙන් පිටව ගිය සේක.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">උන්වහන්සේ යන අතරේ, අන්ධ මිනිසකු දුටු සේක. ඔහු උපතින් අන්ධයෙකි.</verse>
				<verse number="2">එවිට ගෝලයෝ උන්වහන්සේ අමතා, “රබ්බී, මොහු අන්ධව උපදින්නට පව් කළේ කවුරු ද? මේ මිනිසා ද? නැතහොත් මොහුගේ මවු පියන් දැ?” යි ඇසූහ.</verse>
				<verse number="3">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මේ මිනිසාවත්, ඔහුගේ මව්පියන්වත් කළ පාප නිසා නො වෙයි. දෙවියන්වහන්සේගේ ක්‍රියා ඔහු තුළ විදහා දැක්වීමටයි.</verse>
				<verse number="4">දහවල්ව තිබියදී මා එවූ තැනැන්වහන්සේගේ වැඩ අප කළ යුතුයි. රාත්‍රිය එළඹෙයි. එවිට කිසිවකුටත් වැඩ කරන්නට බැරි වෙයි.</verse>
				<verse number="5">මා ලෝකයේ සිටින තුරු ලෝකයේ ආලෝකය මම වෙමි” යි පැවසූ සේක.</verse>
				<verse number="6">ඒ දෑ කියා, බිමට කෙළ ගැසූ උන්වහන්සේ, කෙළවලින් මඩ සාදා ගත් සේක; ඉන්පසු ඒ මිනිසාගේ ඇස්වල ඒ මඩ ආලේප කර,</verse>
				<verse number="7">“ගොසින්, සිලෝවම් පොකුණෙන් සෝදා ගන්නැ” යි පැවසූ සේක. (සිලෝවම් යන්න “එවන ලද්දේ ය” යනුයි) එබැවින් ඔහු ගොස්, සෝදා, පෙනීම ඇතුව, ආපසු ආවේ ය.</verse>
				<verse number="8">එකල අසල්වාසීහු ද ඔහු සිඟමන් ඉල්ලනු දැක තිබූ අය ද, “හිඳගෙන සිඟා කෑ මිනිසා මොහු නො වේ දැ?” යි කීහ.</verse>
				<verse number="9">ඇතැම්හු “මේ ඔහුම යැ” යි කී අතර, අන් සමහරු, “නෑ මොහු හරියට ඔහු වගේ” යි කීහ. “ඒ මම” යැයි ඒ මිනිසා ප්‍රකාශ කළේ ය.</verse>
				<verse number="10">එවිට ඔවුහු, “එහෙම නම්, ඔබේ ඇස් පෑදුණේ කොහොම දැ?” යි ඔහුගෙන් ඇසූහ.</verse>
				<verse number="11">ඔහු පිළිතුරු දෙමින්, “අර යේසුස් කියන තැනැත්තා මඩ සාදා, මගේ ඇස්වල ගා, සිලෝවම් පොකුණෙන් සෝදා ගන්නැයි මට කීවා. මා ගොස්, සෝදා ගත් විට, මට පෙනීම ලැබුණා” යි කීවේ ය.</verse>
				<verse number="12">එවිට ඔවුහු “කෝ, ඔහු කොහේ දැ?” යි ඇසූහ. “මා දන්නේ නැහැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය.</verse>
				<verse number="13">එවිට ඔවුහු කලින් අන්ධව සිටි ඒ මිනිසා පරිසිවරුන් වෙත ගෙන ගියහ.</verse>
				<verse number="14">යේසුස්වහන්සේ මඩ සාදා, ඔහුගේ ඇස් පෑදූ දවස සබතක් ය.</verse>
				<verse number="15">එබැවින් පරිසිවරු ඔහුට පෙනීම ලැබුණේ කෙසේදැයි නැවතත් ඔහුගෙන් ඇසූහ. ඔහු පිළිතුරු දෙමින්, “ඔහු මගේ ඇස්වල මඩ තැවරුවා, මා සෝදා ගත්තා. දැන් මට පෙනෙනවා” යි කීවේ ය.</verse>
				<verse number="16">පරිසීන්ගෙන් ඇතමෙක් කතා කරමින්, “මේ මිනිසා දෙවියන්වහන්සේගෙන් ආවා නො වේ. මන්ද ඔහු සබත් පවත්වන්නේ නැතැ” යි කීහ. සෙසු අය “පව්කාර මනුෂ්‍යයකු මෙබඳු අනුහස් ලකුණු කරන්නේ කෙසේ දැ?” යි කීහ. මෙසේ ඔවුන් අතර බෙදීමක් විය.</verse>
				<verse number="17">එබැවින් අන්ධ මිනිසා යළි ඇමතූ ඔවුහු, “ඔහු ගැන නුඹට කියන්න ඇත්තේ මොනවා ද? මන්ද ඔහු විවර කළේ නුඹේ ඇස්” යයි කීහ. ඔහු පිළිතුරු දෙමින් “එතුමා දිවැසිවරයෙකැ” යි කීවේ ය.</verse>
				<verse number="18">එහෙත් පෙනීම ලැබ සිටි මිනිසාගේ දෙමවුපියන් ගෙන්වන තුරු, ඔහු අන්ධව සිටි වග හා පෙනීම ලද වග යුදෙව්වන් විශ්වාස කළේ නැත.</verse>
				<verse number="19">ඔවුන් ඇමතූ ඔවුහු, “අන්ධව උපන්නැයි නුඹලා කියන නුඹලාගේ පුත්‍රයා මොහු ද? එහෙම නම්, දැන් ඔහුට පෙනෙන්නේ කොහොම දැ?” යි ඇසූහ.</verse>
				<verse number="20">ඔහුගේ දෙමවුපියෝ පිළිතුරු දෙමින්, “මේ අපේ පුතා වග අප දන්නවා; ඔහු අන්ධව උපන් වගත් අප දන්නවා.</verse>
				<verse number="21">එනමුත් දැන් ඔහුට පෙනෙන්නේ කොහොම ද කියා අප දන්නේ නැහැ; ඔහුගේ ඇස් විවර කළේ කවුරු ද කියාත් අප දන්නේ නැහැ. ඔහු වයස් පිරුණු කෙනෙක්; ඔහුගෙන්ම අසන්න; තමන් ගැන ඔහුම කතා කරාවි” යි කීහ.</verse>
				<verse number="22">ඔහුගේ දෙමවුපියන් එසේ කීවේ, යුදෙව්වන්ට වූ බය නිසා ය. මන්ද යේසුස්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ යයි පවසන කවරකු වුවත්, සිනගෝගයෙන් නෙරපා දැමීමට ඒ වන විටත් යුදෙව්වන් එකඟව සිටි බැවිනි.</verse>
				<verse number="23">“ඔහු වයස් පිරුණු කෙනෙක්, ඔහුගෙන් අසන්නැ” යි ඔහුගේ මව්පියන් කීවේ එබැවිනි.</verse>
				<verse number="24">එබැවින් අන්ධව සිටි මිනිසා දෙවන වතාවට ද කැඳවූ ඔවුහු, “දෙවියන්වහන්සේට මහිමය දෙන්න; මේ මිනිසා පව්කරුවකු වග අප දන්නවා” යි කීහ.</verse>
				<verse number="25">ඔහු පිළිතුරු දෙමින්, “ඔහු පව්කරුවකුද නැද්ද කියා මා දන්නේ නෑ. එනමුත් මා එකක් දන්නවා. මා අන්ධව සිටියා. දැන් මට පෙනෙනවා” යි කීවේ ය.</verse>
				<verse number="26">එවිට ඔවුහු ඔහු අමතා, “මොනවද ඔහු නුඹට කළේ? ඔහු නුඹේ ඇස් පෑදුවේ කොහොම දැ?” යි ඇසූහ.</verse>
				<verse number="27">ඔහු පිළිතුරු දෙමින්, “වතාවක් මා ඔබට කීවා; ඔබ සවන් දෙන්නේ නෑ. ආයෙත් එය අහන්නට ඔබට වුවමනා මොකද? ඔබටත් එතුමාගේ ගෝලයින් වෙන්නට ඕනෑ දැ?” යි ඇසී ය.</verse>
				<verse number="28">එවිට ඔවුහු ඔහුට අපහාස කරමින්, “නුඹයි ඔහුගේ ගෝලයා, අපි මෝස‍ෙස්ගේ ගෝලයෝයි.</verse>
				<verse number="29">දෙවියන්වහන්සේ මෝස‍ෙස්ට කතා කළ වග අප දන්නවා. එනමුත් මේ මිනිසා කොහෙන් ආවා ද කියලවත් අප දන්නේ නැතැ” යි කීහ.</verse>
				<verse number="30">ඒ මිනිසා පිළිතුරු දෙමින්, “ඇයි, ඒක හරි පුදුමයක්! ඔහු එන්නේ කොහෙන් ද කියා ඔබ දන්නේ නෑ! ඒත් එතුමා මගේ ඇස් විවර කළා.</verse>
				<verse number="31">දෙවියන්වහන්සේ පව්කරුවන්ට කන් දෙන්නේ නැති වග අප දන්නවා. එහෙත් දෙවියන්වහන්සේට නමස්කාර කරන කෙනෙක් උන්වහන්සේගේ කැමැත්ත කරනවා ද, දෙවියන්වහන්සේ ඔහුට සවන් දෙන වග අප දන්නවා.</verse>
				<verse number="32">අන්ධව උපන් මිනිසකුගේ ඇස් විවර කිරීමක් ගැන ලෝකය පටන්ගැන්මේ සිට කිසි දා නෑසූ දෙයක්.</verse>
				<verse number="33">මෙතුමා දෙවියන්වහන්සේගෙන් නො වේ නම්, ඔහුට කළ හැකි දෙයක් නැතැ” යි කීවේ ය.</verse>
				<verse number="34">ඔවුහු ඊට පිළිතුරු දෙමින්, “නුඹ අන්ත පාපයේ උපන් කෙනෙක්; නුඹ එනවා ද අපට උගන්වන්නැ” යි කියා, ඔහු පිටතට පන්නා දැමූහ.</verse>
				<verse number="35">ඔවුන් ඔහු නෙරපා දැමූ වග යේසුස්වහන්සේට සැල වූ කල ඔහු හමු වූ උන්වහන්සේ, “ඔබ මනුෂ්‍ය පුත්‍රයාණන් තුළ විශ්වාස කරනවා දැ” යි ඇසූ සේක.</verse>
				<verse number="36">“මා එතුමාණන් තුළ විශ්වාස කරන්නට එතුමාණන් කවුරු ද මහත්මයා?” යි එවිට ඔහු ඇසුවේ ය.</verse>
				<verse number="37">එවිට යේසුස්වහන්සේ, “ඔබ එතුමාණන් දැක තියෙනවා. දැන් ඔබ හා කතා කරන්නේත් එතුමාණන් යැ” යි කී සේක.</verse>
				<verse number="38">“ස්වාමිනි, මම විශ්වාස කරමි” යි කියූ ඔහු උන්වහන්සේට නමස්කාර කළේ ය.</verse>
				<verse number="39">යේසුස්වහන්සේ කතා කරමින්, “අන්ධ අයට පෙනෙන පිණිසත්, පෙනෙන අය අන්ධ වන පිණිසත් මා මෙලොවට ආවේ විනිශ්චයට යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="40">උන්වහන්සේ අසල සිටි පරිසිවරු ඇතැම් දෙනෙක් ඒ අසා, “අපත් අන්ධයින් දැ?” යි ඇසූහ.</verse>
				<verse number="41">යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ අන්ධව සිටියා නම් ඔබ වරදකරුවන් නො වන්නට තිබුණා. එහෙත් ‘අපට පෙනෙනවා’ යි ඔබ කියන නිසා, ඔබගේ වරදකාරකම එසේම පවතී” යි පැවසූ සේක.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">“සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, දොරටුවෙන් ඇතුළු නො වී, වෙන තැනකින් බැටළු ගාලට නැග, පැන එන්නා හොරෙකි; මංකොල්ලකරුවෙකි.</verse>
				<verse number="2">එහෙත් දොරටුවෙන් ඇතුළු වන තැනැත්තා බැටළුවන්ගේ එඬේරායි.</verse>
				<verse number="3">දොරටුපාලයා ඔහුට දොර හැර දෙයි. බැටළුවෝ ඔහුගේ කටහඬට සවන් දෙති. ඔහු තමන්ගේ බැටළුවන්ට උන්ගේ නම් කියා හඬගසා, පිටතට උන් මෙහෙයවයි.</verse>
				<verse number="4">මෙසේ තමන්ගේ මුළු රැළම පිටතට ගෙනා පසු, ඔහු උන්ට පෙරටුවෙන් යයි. බැටළුවෝ ද ඔහු පස්සේ යති. මන්ද උන් ඔහුගේ කටහඬ හඳුනන බැවිනි.</verse>
				<verse number="5">එහෙත් උන් අමුත්තකු පස්සේ යන්නේ නැත. එපමණක් නො ව, ඔහු වෙතින් උන් ඉවත පැන දුවන්නේ අමුත්තන්ගේ කටහඬ උන් හඳුනන්නේ නැති බැවිනි” යි කී සේක.</verse>
				<verse number="6">යේසුස්වහන්සේ ව්‍යාංගාර්ථයෙන් එසේ පැවසූ නමුත්, උන්වහන්සේ ඔවුන්ට පවසන්නේ කුමක්දැයි ඔවුන්ට වැටහුණේ නැත.</verse>
				<verse number="7">යේසුස්වහන්සේ යළි ඔවුන් අමතමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ මෙයයි; බැටළුවන්ට දොරටුව මමයි.</verse>
				<verse number="8">මට කලින් ආ සියල්ලෝ සොරු හා මංකොල්ලකරුවොයි. එහෙත් බැටළුවන් ඔවුන්ට ඇහුම්කන් දුන්නේ නැත.</verse>
				<verse number="9">දොරටුව මමයි. යමෙක් මා තුළින් ඇතුළු වේ නම්, ඔහුට ගැලවීම ලැබෙයි; ඔහු ඇතුළට එයි; පිටතටත් යයි; ඔහුට තණ බිම් හමු වෙයි.</verse>
				<verse number="10">සොරා එන්නේ සොරකම් කරන්නටත්, මරන්නටත්, විනාශ කරන්නටත් පමණයි. එනමුත් මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසයි; එය අධිකවම ලැබෙන පිණිසයි.</verse>
				<verse number="11">“යහපත් බැටළු එඬේරා මමයි. යහපත් එඬේරා බැටළුවන් උදෙසා තම ජීවිතය පුදයි.</verse>
				<verse number="12">එහෙත් බැටළුවන් අයිතිකරු නො වන කුලීකරුවා එඬේරා නො වේ. වෘකයා එනවා දුටුවොත්, ඔහු බැටළුවන් හැර දමා පැන දුවයි. එවිට වෘකයා බැටළුවන් ඩැහැගෙන, උන් විසුරුවා දමයි.</verse>
				<verse number="13">ඔහු පැන දුවන්නේ, ඔහු කුලීකරුවකු බැවින්, බැටළුවන් ගැන කිසි තැකීමක් ඔහුට නැති නිසයි.</verse>
				<verse number="14">“යහපත් එඬේරා මමයි; මගේම උන් මම හඳුනමි; මාගේම බැටළුවෝ ද මා හඳුනති.</verse>
				<verse number="15">එය හරියට පියාණන්වහන්සේ මා හඳුනන පරිදි ය; මා පියාණන්වහන්සේ හඳුනන පරිදි ය. මාගේ බැටළුවන් උදෙසා මම මගේ ජීවිතය පුදමි.</verse>
				<verse number="16">මේ ගාලට අයිති නැති තවත් බැටළුවන් මට සිටී. මා ඔවුන් ද ගෙන ආ යුතුයි. ඔවුන් ද මගේ කටහඬට සවන් දෙනු ඇත. එවිට එකම බැටළු රැළකි; එකම එඬේරෙකි.</verse>
				<verse number="17">පියාණන්වහන්සේ මට ප්‍රේම කරන හේතුව, මා විසින්ම ආපසු ගන්නා පිණිස, මා මගේ ජීවිතය පිදීමයි.</verse>
				<verse number="18">කිසිවකු මගේ ජීවිතය මගෙන් ගන්නවා නො වේ. මා එය පුදන්නේ මගේම අනුමැතියෙනි. එය පුදකිරීමේ අධිකාරී බලය මට ඇත; එය නැවත ගැනීමේ අධිකාරී-බලයත් මට ඇත. මේ ආඥාව මා ලද්දේ මගේ පියාණන්වහන්සේගෙනි” යි පැවසූ සේක.</verse>
				<verse number="19">මේ වචන නිසා යළිත් යුදෙව්වන් අතර බෙදීමක් ඇති විය.</verse>
				<verse number="20">ඔවුන් අතරින් බොහෝ දෙනෙක්, “ඔහුට යක්ෂාත්මයක් වැහිලා. ඔහුට පිස්සු; මොකට මේවා අහනවා දැ?” යි කීහ.</verse>
				<verse number="21">සෙසු අය, “මේවා යක්ෂාවේශ කෙනකු කියන වචන නො වේ; අන්ධයින්ගේ ඇස් අරවන්නට යක්ෂාත්මයකට පුළුවන් දැ?” යි කීහ.</verse>
				<verse number="22">ඒ, යෙරුසලමේ කැප කිරීමේ මංගල්‍යය පැවැත්වෙන කාලයයි; ඒ ශීත සෘතුව ය.</verse>
				<verse number="23">යේසුස්වහන්සේ දේව මාලිගයේ සලමොන්ගේ මණ්ඩපයේ සක්මන් කරමින් සිටි සේක.</verse>
				<verse number="24">එවිට යුදෙව්වෝ උන්වහන්සේ වටකරගෙන, “ඔබ තව කොතෙක් කලක් අප දෙගිඩියාවෙන් තියනවා ද? ඔබ ක්‍රිස්තුස්වහන්සේ නම් පැහැදිලිව අපට කියන්නැ” යි කීහ.</verse>
				<verse number="25">යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මා ඔබට කීවා; එහෙත් ඔබ විශ්වාස කරන්නේ නෑ. මාගේ පියාණන්ගේ නාමයෙන් මා කළ වැඩ, මා ගැන සාක්ෂි දරයි.</verse>
				<verse number="26">එහෙත් ඔබ විශ්වාස නො කරන්නේ ඔබ මගේ රැළේ බැටළුවන් නො වන නිසයි.</verse>
				<verse number="27">මගේ බැටළුවෝ මගේ කටහඬට සවන් දෙති; මම ඔවුන් හඳුනමි. ඔවුහු මා පස්සේ එති.</verse>
				<verse number="28">මම ඔවුන්ට සදාතන ජීවනය දෙන්නෙමි. ඔවුන් කිසි කලෙක විනාශ වන්නේ නැත. කිසි කෙනකු මගේ අතින් ඔවුන් උදුරා ගන්නේ නැත.</verse>
				<verse number="29">ඔවුන් මට දුන් මගේ පියාණන්වහන්සේ හැමට වඩා උතුම් ය. මගේ පියාණන්වහන්සේගේ අතින් ඔවුන් උදුරා ගැනීමට සමත් කිසි කෙනකු නැත.</verse>
				<verse number="30">මමත්, පියාණන්වහන්සේත් එක යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="31">යුදෙව්වෝ උන්වහන්සේට ගල් ගසන පිණිස, යළි ගල් අහුලා ගත්තෝ ය.</verse>
				<verse number="32">යේසුස්වහන්සේ ඔවුන්ට කතා කොට, “පියාණන්වහන්සේ වෙතින් වූ හොඳ වැඩ බොහොමයක් මා ඔබට පෙන්වූවා. ඔබ මට ගල් ගසන්ට යන්නේ ඒ කුමණ එකට දැ?” යි ඇසූ සේක.</verse>
				<verse number="33">යුදෙව්වෝ පිළිතුරු දෙමින්, “අප ගල් ගසන්නට හදන්නේ කළ ඒ හොඳ වැඩ නිසා නො වෙයි. හුදු මිනිසකු වන ඔබ දෙවියන්වහන්සේ ය කියා ගන්නා දේවාපහාසයට යැ” යි කීහ.</verse>
				<verse number="34">යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ ‘ඔබ දෙවිවරු යැ’ යි මම කීවෙමි කියා, ඔබේ දහම් නීතියේ, ලියා නැද්ද?</verse>
				<verse number="35">දෙවියන්වහන්සේගේ වචනය ලැබූ අය ගැන, ඔවුන් දෙවිවරුන් ය කියා උන්වහන්සේ හැඳින්වූවා නම් (ශුද්ධ ලියවිල්ල කඩ විය නො හැකියි.)</verse>
				<verse number="36">‘මා දෙවියන්වහන්සේගේ පුත්‍රයා ය’ කී හේතුවෙන් පියාණන්වහන්සේ ම තෝරා වෙන් කොට ලෝකයට එවූ තැනැත්තාට ඔබ දේවාපහාස කරනවා යයි ඔබ කියන්නේ කෙසේ ද?</verse>
				<verse number="37">මාගේ පියාණන්වහන්සේගේ වැඩ මා කරන්නේ නැතිනම්, මා විශ්වාස කරන්න එපා.</verse>
				<verse number="38">එහෙත් මා ඒවා කරනවා නම්, ඔබ මා විශ්වාස නො කළත්, පියාණන්වහන්සේ මා තුළත්, මා පියාණන්වහන්සේ තුළත් සිටින බව ඔබ දැනගන්නා පිණිසත්, වටහා ගන්නා පිණිසත්, කරන වැඩ විශ්වාස කරන්නැ” යි පැවසූ සේක.</verse>
				<verse number="39">ඔවුහු නැවතත් උන්වහන්සේ අල්ලා ගැනීමට තැත් දැරූහ. එහෙත් උන්වහන්සේ ඔවුන් අතින් බේරී පලා ගිය සේක.</verse>
				<verse number="40">ඉන්පසු උන්වහන්සේ යළිත් යොර්දාන් නදියෙන් එතෙර, කලින් යොහන් බව්තීස්ම කළ ස්ථානයට ගොස්, එහි නැවතී සිටි සේක.</verse>
				<verse number="41">බොහෝ දෙනෙක් උන්වහන්සේ වෙත ආහ. “යොහන් කිසි අනුහස් ලකුණක් නො දැක්වූවත් මේ තැනැත්තා ගැන ඔහු කී සියල්ල සැබෑ යැ” යි ඔවුහු පැවසූහ.</verse>
				<verse number="42">එහිදී බොහෝ දෙනෙක් උන්වහන්සේ අදහා ගත්හ.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">එක්තරා මනුෂ්‍යයෙක් රෝගීව සිටියේ ය. ඔහු, මරියාගේ හා ඇගේ සහෝදරිය වන මාර්තාගේ ගම වූ බෙතානියේ ලාසරස් ය.</verse>
				<verse number="2">සුවඳ විලවුන්වලින් ස්වාමින්වහන්සේ ආලේප කර, තම හිසකෙසින් උන්වහන්සේගේ පා පිසදැමූ තැනැත්තිය මේ මරියා ය. රෝගීව සිටි ලාසරස් ඇගේ සහෝදරයා ය.</verse>
				<verse number="3">එබැවින් සහෝදරියෝ, “ස්වාමිනි, ඔබ ප්‍රේම කරන තැනැත්තා රෝගීව සිටිතැ” යි යේසුස්වහන්සේට දන්වා යැවූහ.</verse>
				<verse number="4">යේසුස්වහන්සේ ඒ ඇසූ කල, “මේ රෝගයේ කෙළවර මරණය නො වෙයි. එමඟින් දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් මහිමයට පමුණුවන පිණිස, දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය සඳහා යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="5">යේසුස්වහන්සේ මාර්තාට ද ඇගේ සහෝදරියට ද ලාසරස්ට ද ප්‍රේම කළ සේක.</verse>
				<verse number="6">එබැවින් ලාසරස් රෝගීව සිටින වග ඇසූ කල, උන්වහන්සේ සිටි ස්ථානයේ තව දින දෙකක් නැවතී සිටි සේක.</verse>
				<verse number="7">අනතුරුව සිය ගෝලයින් ඇමතූ උන්වහන්සේ, “අපි ආයෙත් යුදයට යමු” යි කී සේක.</verse>
				<verse number="8">එවිට ගෝලයෝ උන්වහන්සේ අමතමින්, “රබ්බී, මේ ළඟදී යුදෙව්වන් ඔබට ගල් ගසන්නට සෙව්වා; ආයෙත් ඔබ එහි යනවාදැ?” යි ඇසූහ.</verse>
				<verse number="9">යේසුස්වහන්සේ උත්තර දෙමින්, “දහවලට දොළොස් පැයක් තියෙනවා නො වේ ද? කෙනෙක් දහවලේ ඇවිදිනවා නම් ඔහු පැකිළෙන්නේ නැත. මන්ද ඔහුට ලෝකයේ එළිය පෙනේ.</verse>
				<verse number="10">එහෙත් ඔහු ඇවිදින්නේ රාත්‍රියේ නම් ඔහු පැකිළෙයි; මන්ද ඔහු තුළ එළියක් නැතැ” යි කී සේක.</verse>
				<verse number="11">එසේ පැවසූ උන්වහන්සේ යළි කතා කරමින්, “අපේ මිත්‍ර ලාසරස් සැතපිලා. මා යන්නේ ඔහු පුබුදුවන්නට යැ” යි කී සේක.</verse>
				<verse number="12">“ස්වාමිනි, ඔහු සැතපී සිටී නම් ඔහු සුව වේවි” යි ගෝලයෝ පැවසූහ.</verse>
				<verse number="13">යේසුස්වහන්සේ පැවසුවේ ඔහුගේ මරණය ගැන ය. එහෙත් ඔවුන් සිතුවේ ඔහු විවේකීව නිදා සිටිතැයි කියා ය.</verse>
				<verse number="14">එබැවින් යේසුස්වහන්සේ පැහැදිලිව කතා කරමින්, “ලාසරස් මිය ගොසින්.</verse>
				<verse number="15">එසේ වුවත්, ඔබ ගැන සලකා, මා එහි නො සිටීම ගැන මා සතුටු වන්නේ, ඔබ විශ්වාස කරන පිණිසයි. එහෙත් අපි ඔහු වෙත යමු” යි කී සේක.</verse>
				<verse number="16">එවිට, දිදිමුස් නම් තෝමස් අනෙක් ගෝලයින් අමතමින්, “මෙතුමන් එක්ක මැරෙන්නට අපිත් යමු” යි කීවේ ය.</verse>
				<verse number="17">උන්වහන්සේ එහි ළඟා වූ කල, ලාසරස් සොහොන් ගත කර ඒ වන විට සිවු දිනක් වග යේසුස්වහන්සේ දැනගත් සේක.</verse>
				<verse number="18">බෙතානිය පිහිටියේ යෙරුසලමට සැතපුම් දෙකක් පමණ නුදුරිනි.</verse>
				<verse number="19">ඔවුන්ගේ සහෝදරයාගේ වියෝව නිසා, මාර්තා හා මරියා අස්වසනු පිණිස යුදෙව්වරු බොහෝ දෙනෙක් එහි පැමිණ සිටියහ.</verse>
				<verse number="20">යේසුස්වහන්සේ එන වග දැනගත් මාර්තා උන්වහන්සේ හමුවීමට පෙර මඟට ගියා ය. එහෙත් මරියා නිවසෙහිම හිඳ සිටියා ය.</verse>
				<verse number="21">මාර්තා යේසුස්වහන්සේ අමතමින්, “ස්වාමිනි, ඔබතුමා මෙහි සිටියා නම්, මගේ සහෝදරයා නො මැරෙන්න තිබුණා.</verse>
				<verse number="22">දැන් වුවත් ඔබතුමා දෙවියන්වහන්සේගෙන් කවර දෙයක් ඉල්ලුවත්, දෙවියන්වහන්සේ එය ඔබට දෙන වග මා දන්නවා” යි කීවා ය.</verse>
				<verse number="23">“ඔබේ සහෝදරයා යළි නැගිටිනු ඇතැ” යි යේසුස්වහන්සේ ඇයට පැවසූ සේක.</verse>
				<verse number="24">“අවසාන දවසේ නැවත නැගිටීමේදී ඔහු නැවත නැගිටින වග මා දන්නවා” යි මාර්තා උත්තර දුන්නා ය.</verse>
				<verse number="25">යේසුස්වහන්සේ ඇය අමතමින්, “මරණින් නැගිටීමත්, ජීවනයත් මම ය. මා තුළ විශ්වාස කරන්නා මැරුණත් ජීවත් වන්නේ ය.</verse>
				<verse number="26">මා තුළ විශ්වාසය තබන, ජීවත්ව සිටින හැම කෙනෙක් කිසි දා නො මැරෙයි. ඔබ මෙය විශ්වාස කරනවා දැ?” යි ඇසූ සේක.</verse>
				<verse number="27">ඕ පිළිතුරු දෙමින්, “එහෙමයි ස්වාමිනි, ඔබවහන්සේ ක්‍රිස්තුස්වහන්සේ වග, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වූ ලෝකයට එන්නට සිටි තැනැත්තාණන් වග මම විශ්වාස කරමි” යි කීවා ය.</verse>
				<verse number="28">මෙසේ පැවසූ පසු ඕ ආපසු ගොස්, තම සොහොයුරිය වන මරියා පසෙකට කැඳවා, “ගුරු හිමියන් ඇවිත් ඉන්නවා; එතුමා ඔබට කතා කරනවා” යි රහසින් කීවා ය.</verse>
				<verse number="29">ඒ ඇසූ ඕ, වහා නැගිට, උන්වහන්සේ හමුවට ගියා ය.</verse>
				<verse number="30">ඒ වන තෙක්ම, ගමට ඇතුළු නො වූ යේසුස්වහන්සේ, මාර්තා හමු වූ ස්ථානයේම නැවතී සිටි සේක.</verse>
				<verse number="31">මරියා අස්වසමින් නිවසේ සිටි යුදෙව්වෝ, හදිසියේම ඇය නැගිට පිටතට යනු දැක, ඇය වැලපෙන්නට සොහොන වෙත යතැයි සිතා ඇය පසුපසින් ගියහ.</verse>
				<verse number="32">යේසුස්වහන්සේ හුන් තැනට පැමිණි මරියා, උන්වහන්සේ දැක, උන්වහන්සේගේ පාමුල වැටී, “ස්වාමිනි, ඔබතුමා මෙහි සිටියා නම්, මගේ සහෝදරයා නො මැරෙන්න තිබුණා” යි කීවා ය.</verse>
				<verse number="33">ඇය හඬනු දුටු, ඇය හා පැමිණි යුදෙව්වන් ද හඬනු දුටු යේසුස්වහන්සේ තම ආත්මයෙන් දැඩිව සසල වී, බෙහෙවින් කැලඹී,</verse>
				<verse number="34">“ඔහු තැන්පත් කළේ කොතැනක දැ?” යි ඇසූ සේක. “එන්න, ඇවිත් බලන්න ස්වාමිනි” යි ඔවුහු උන්වහන්සේට කීවෝ ය.</verse>
				<verse number="35">යේසුස්වහන්සේ හැඬූ සේක.</verse>
				<verse number="36">එවිට යුදෙව්වෝ, “මෙතුමා ඔහුට ප්‍රේම කළ තරම පෙනේ දැ!” යි කීවෝ ය.</verse>
				<verse number="37">එහෙත් ඔවුන්ගෙන් ඇතමෙක්, “අන්ධ මිනිසාගේ ඇස් පෑදූ මෙතුමාණන්ට, මොහු මරණින් නවතාගන්න බැරි වුණා නො වේ දැ?” යි කීහ.</verse>
				<verse number="38">යේසුස්වහන්සේ නැවතත් දැඩි සේ සසලව, සොහොන අසලට පැමිණි සේක. එය, ගලකින් එහි පිවිසුම ආවරණ කර තිබූ ලෙනකි.</verse>
				<verse number="39">“ඔය ගල ඉවත් කරන්නැ” යි යේසුස්වහන්සේ පැවසූ සේක. එවිට, මළ තැනැත්තාගේ සහෝදරිය වූ මාර්තා, “ස්වාමිනි, මේ වන විට එහි දුඟඳක් තියේවි. මන්ද දැන් දවස් හතරක් ගතවෙලා යැ” යි කීවා ය.</verse>
				<verse number="40">යේසුස්වහන්සේ ඇය අමතා, “ඔබ විශ්වාස කරන්නේ නම්, දෙවියන්වහන්සේගේ මහිමය ඔබ දකින වග මා ඔබට කීවා නො වේ දැ?” යි කී සේක.</verse>
				<verse number="41">එවිට ඔවුහු ගල ඉවත් කළහ. යේසුස්වහන්සේ ඇස් ඔසවා බලා, “පියාණෙනි, ඔබවහන්සේ මට සවන් දුන් නිසා මා ඔබට ස්තුති කරනවා.</verse>
				<verse number="42">හැම විට ඔබ මට සවන් දෙන වග මා දැන සිටියා. එනමුත් මා මෙසේ කීවේ, මා එවුවේ ඔබවහන්සේම වග මෙහි වටේට සිටගෙන සිටින ජනයා විශ්වාස කරන පිණිස ඔවුන් උදෙසා යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="43">උන්වහන්සේ එසේ පවසා, “ලාසරස්! පිටතට එනු” යි උස් හඬින් හඬ ගැසූ සේක.</verse>
				<verse number="44">මැරී සිටි මිනිසා පිටතට ආවේ ය. ඔහුගේ අත්, පා හණ රෙදි පටිවලින් වෙළා තිබුණු අතර, මුහුණ රෙදි කඩකින් ඔතා තිබිණි. “ඔය බැමි මුදා ඔහු යන්න හරින්නැ” යි යේසුස්වහන්සේ ඔවුන්ට කී සේක.</verse>
				<verse number="45">මරියා සමඟ පැමිණ සිටි යුදෙව්වන්ගෙන් බොහෝ දෙනෙක් උන්වහන්සේ කළ දේ දැක, උන්වහන්සේ තුළ විශ්වාස කළහ.</verse>
				<verse number="46">එහෙත් ඔවුන්ගෙන් ඇතමෙක් පරිසිවරුන් වෙත ගොස්, යේසුස්වහන්සේ කළ දේ ඔවුන්ට පැවසූහ.</verse>
				<verse number="47">එවිට නායක පූජකවරු හා පරිසිවරු මන්ත්‍රණ සභාව රැස් කරවා, “අප මොනවා ද කළ යුත්තේ? මේ මිනිසා බොහෝ අනුහස් ලකුණු දක්වයි.</verse>
				<verse number="48">ඔහුට මේ විදියට කරන්නට ඉඩ දී බලා සිටියොත්, හැම කෙනෙක්ම ඔහු විශ්වාස කරාවි. එවිට රෝමවරුන් ඇවිත් අපේ සිද්ධස්ථානයත්, ජාතියත් දෙකම පැහැර ගනු ඇතැ” යි කීහ.</verse>
				<verse number="49">ඔවුන්ගෙන් කෙනකු වූ, ඒ වසරේ උත්තම පූජක නිලය දැරූ කායාපස් කතා කොට, “ඔබ කිසි දෙයක් දන්නේ නැති හැටි;</verse>
				<verse number="50">මුළු ජාතියම විනාශ වනවාට වඩා, ජනතාව වෙනුවෙන් එක මිනිසකු මරණයට පත්වීම ඔබට වඩා හොඳ බව ඔබ වටහා ගන්නේ නැතැ” යි කීවේ ය.</verse>
				<verse number="51">ඒ, ඔහු තමාගෙන්ම කී දෙයක් නො ව, එම වසරේ උත්තම පූජකයා ලෙසින් පැවසූ දිවැසි වැකියකි. එනම් යේසුස්වහන්සේ මියෙන්නේ යුදෙව් ජාතිය වෙනුවෙන් බවත්,</verse>
				<verse number="52">ඒ ජාතිය වෙනුවෙන් පමණක් නො ව විසිර සිටින දෙවියන්වහන්සේගේ දරුවන් එකට එක්රැස් කරන පිණිස බවත් කීමකි.</verse>
				<verse number="53">මෙසේ ඔවුහු ඒ දවසේ පටන් උන්වහන්සේ මරා දමන්නට උපා යෙදූහ.</verse>
				<verse number="54">එබැවින් යේසුස්වහන්සේ තවදුරටත් යුදෙව්වන් අතර ප්‍රසිද්ධියේ නො ගැවසී, කාන්තාරයට යාබද පෙදෙසේ එප්‍රායිම් නම් ගම්මානයට ගොස්, සිය ගෝලයින් සමඟ එහි නැවතී සිටි සේක.</verse>
				<verse number="55">එකල යුදෙව්වන්ගේ පාස්කු මංගල්‍යය ආසන්න වූයෙන්, පාස්කුවට පෙරාතුව තමන් පවිත්‍ර කරගන්නා පිණිස, පිට පළාත්හි සිට බොහෝ දෙනෙක් යෙරුසලමට ගියහ.</verse>
				<verse number="56">ඔවුහු දේව මාලිගාවේ සිටියදී යේසුස්වහන්සේ සොයමින්, “ඔබ සිතන්නේ කුමක් ද? මංගල්‍යයට ඔහු නෑවිත්ම සිටී දැ?” යි එකිනෙකාගෙන් විමසූහ.</verse>
				<verse number="57">මේ අතර, යේසුස්වහන්සේ සිටින තැන දැන ගතහොත්, උන්වහන්සේ අත්අඩංගුවට ගන්නා පිණිස, ඒ වග තමන්ට දැනුම් දිය යුතු ය යන අණක් නායක පූජකයින් හා පරිසිවරුන් නිකුත් කර තිබිණි.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">පාස්කු මංගල්‍යයට හය දවසකට කලින් යේසුස්වහන්සේ බෙතානියට පැමිණි සේක. යේසුස්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගිටුවන ලද ලාසරස් සිටියේ එහි ය.</verse>
				<verse number="2">ඔවුහු උන්වහන්සේට භෝජන සංග්‍රහයක් පැවැත් වූහ. මාර්තා සත්කාර කිරීමෙහි නියැළුණු අතර, ලාසරස් උන්වහන්සේ සමඟ මේසයට වාඩි වූවන්ගෙන් කෙනකු විය.</verse>
				<verse number="3">මරියා පිරිසිදු නාඩ්වලින්, ඉතා මිල අධික සුවඳ විලවුන් ලීටර බාගයක් ගෙනැවිත්, යේසුස්වහන්සේගේ දෙපාවල වත්කර, උන්වහන්සේගේ පා ඇගේ කෙස් වැටියෙන් පිස දැමුවා ය. මුළු නිවස විලවුන් සුවඳින් පිරුණේ ය.</verse>
				<verse number="4">එවිට උන්වහන්සේගේ ගෝලයකු වූ යූදස් ඉස්කාරියොත් කතා කොට, (උන්වහන්සේ පාවා දීමට සිටියේ ඔහු ය)</verse>
				<verse number="5">“මේ සුවඳ විලවුන් ඩිනාරි තුන්සියයකට විකුණා ඒ මුදල් දුප්පතුන්ට බෙදා නුදුන්නේ මන්දැ?” යි කීවේ ය.</verse>
				<verse number="6">ඔහු එසේ කීවේ, දුප්පතුන් ගැන සැලකූ නිසා නො ව, ඔහු සොරකු නිසා ය. මුදල් පසුම්බිය බාරව සිටි ඔහු එහි දමන ලද දෑ තමාටම ගන්නට පුරුදුව සිටියේ ය.</verse>
				<verse number="7">යේසුස්වහන්සේ කතා කරමින්, “ඇයට කරදර කරන්න එපා; මගේ භූමදාන දවස දක්වා ඇය එය තබා ගත්තා වේ.</verse>
				<verse number="8">දිළිඳුන් හැමදා ඔබ අතරේ ඉඳීවි. එහෙත් මා ඔබ අතරේ හැමදා සිටින්නේ නැතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="9">ඒ අතර යේසුස්වහන්සේ එහි පැමිණ සිටිතැයි දැනගත් යුදෙව්වරු මහත් සමූහයක් උන්වහන්සේ නිසා පමණක් නො ව, උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ ලාසරස් ද දකින පිණිස ආහ.</verse>
				<verse number="10">එබැවින් ලාසරස් ද මරා දමන්නට නායක පූජකයෝ සැලසුම් කළහ.</verse>
				<verse number="11">මන්ද ඔහු නිසා යුදෙව්වන් බොහෝ දෙනකු හැරී යමින්, යේසුස්වහන්සේ තුළ විශ්වාස කරන්නට වූ හෙයිනි.</verse>
				<verse number="12">පසු දා, යේසුස්වහන්සේ යෙරුසලමට එන වග මංගල්‍යයට පැමිණ සිටි අති විශාල ජනකායට සැල විය.</verse>
				<verse number="13">එවිට ඔවුහු තල් අතු ගෙන, උන්වහන්සේ පෙර මඟට ගොස්, “හෝසන්නා!” “ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාණන් ආශිර්වාදිත ය!” “ඉශ්‍රායෙල් රජ්ජුරුවන්ට ආසිරි වේවා!” යි ඝෝෂා නගන්නට වූහ.</verse>
				<verse number="14">යේසුස්වහන්සේ බූරු වස්සකු සම්භව, ඌ පිට නැඟුණේ,</verse>
				<verse number="15">“සියොන් දියණිය බය නො වන්න. මෙන්න, ඔබේ රජ, බූරු නාම්බකු පිට හිඳ එන්නේ යැ” යි ලියා තිබූ පරිදි ය.</verse>
				<verse number="16">එකල්හි, උන්වහන්සේගේ ගෝලයෝ මෙය මුලින් වටහා නො ගත් නමුදු, පසුව යේසුස්වහන්සේ යළි මහිමයට පමුණුවන ලද පසු, උන්වහන්සේ ගැන මේ දෑ ලියවී තිබූ වග හා උන්වහන්සේට ඒ දෑ කළ වග ඔවුන්ට මතක් විය.</verse>
				<verse number="17">යේසුස්වහන්සේ ලාසරස්ට සොහොනෙන් පිටතට හඬගසා, ඔහු මළවුන්ගෙන් නැගිටුවද්දී, උන්වහන්සේ සමඟ සිටි පිරිස දිගටම ඒ ගැන සාක්ෂි දැරූහ.</verse>
				<verse number="18">ජන සමූහයා උන්වහන්සේ හමුවට ගියේ, මෙම අනුහස් ලකුණ උන්වහන්සේ පෑ වග ඔවුන්ට සැල වූ නිසා ය.</verse>
				<verse number="19">එබැවින්, ඔවුනොවුන් ඇමතූ පරිසිවරු, “පේනවද අපට කිසි ජයක් නැති හැටි. බලන්න! මුළු ලෝකයම ඔහු පස්සේ ගිහිල්ලා” යි කීහ.</verse>
				<verse number="20">නමස්කාර කරන්නට මංගල්‍යයට පැමිණ සිටියවුන් අතර ග්‍රීකයෝ ඇතැම් දෙනෙක් ද වූහ.</verse>
				<verse number="21">ඔවුහු ගලීල බෙත්සයිදාහි පිලිප් වෙත ගොස්, “මහත්මයා, යේසුස්වහන්සේ දකින්නට අප කැමති” යි කීහ.</verse>
				<verse number="22">පිලිප් ගොස්, අන්දෘට කීවේ ය. අන්දෘ හා පිලිප් ගොස්, යේසුස්වහන්සේට ඒ වග කීහ.</verse>
				<verse number="23">යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මනුෂ්‍ය පුත්‍රයාණන් මහිමයට පමුණුවන ලබන පැය පැමිණිලා.</verse>
				<verse number="24">සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, තිරිඟු ඇටයක් පොළොවට වැටී නො මළොත්, එය තනි ඇටයක්ව පවතී. එහෙත් එය මළොත්, එය බොහෝ පල දරයි.</verse>
				<verse number="25">තම ජීවිතයට ප්‍රේම කරන්නා, එය අහිමි කරගනී. එහෙත් මෙලොවදී තම ජීවිතයට වෛර කරන්නා, සදාතන ජීවනයට එය රැකගනී.</verse>
				<verse number="26">යමෙක් මට සේවය කරන්නේ නම්, ඔහු මා අනුව ආ යුතුයි. මා කොතැනක ද, මගේ සේවකයා ද එතැනම විය යුතු ය. යමෙක් මට සේවය කරනවා නම්, පියාණන්වහන්සේ ඔහුට ගෞරව කරන සේක.</verse>
				<verse number="27">“දැන් මගේ සිත කැලඹිලා; මම කුමක් කියම් ද? ‘පියාණෙනි, මේ පැයෙන් මා මුදා ගන්නැ’ යි කියන්න ද? නැත; මේ පැයට මා පැමිණියේ මේ අරමුණින්මයි.</verse>
				<verse number="28">පියාණන්වහන්ස, ඔබගේ නාමය තේජෝමහිමයට පැමි‍ණෙවුව මැනව” යි පැවසූ සේක. එවිට, “මම එය තේජෝමහිමයට පැමිණ වීමි; යළිත් පමුණුවන්නෙමි” යි ස්වර්ගයෙන් කටහඬක් පැමිණියේ ය.</verse>
				<verse number="29">ඒ ඇසූ එහි සිටි සමූහයා, “එය අහස් ගිගුරුමකැ” යි කී අතර, සෙසු අය පැවසුවේ, “දේව දූතයෙක් එතුමන්ට කතා කළා” කියා ය.</verse>
				<verse number="30">යේසුස්වහන්සේ කතා කරමින්, “ඒ කටහඬ පැමිණියේ ඔබ උදෙසායි; මා උදෙසා නො වේ.</verse>
				<verse number="31">ලෝකය විනිශ්චය දැනුයි. මේ ලෝකයේ අධිපතියා දැන් පිටත හෙළනු ලබයි.</verse>
				<verse number="32">එහෙත් මා පොළොවෙන් ඔසවනු ලැබූ කල, මම සියලු මිනිසුන් මා වෙත ඇදගනිමි” යි පැවසූ සේක.</verse>
				<verse number="33">උන්වහන්සේ එසේ කීවේ, තමන් විඳින්නට යන්නේ කෙබඳු මරණයක්දැයි හඟවනු පිණිස ය.</verse>
				<verse number="34">සමූහයා කතා කරමින්, “දහම් නීතියෙන් අප අසා ඇත්තේ, ක්‍රිස්තුස්වහන්සේ සදාතනිකව පැවත සිටින බවයි. එසේ නම්, ‘මනුෂ්‍ය පුත්‍රයා ඔසවනු ලැබිය යුතු යැ’ යි ඔබ කියන්නේ කෙසේ ද? කවුරු ද මේ මනුෂ්‍ය පුත්‍රයා?” යි ඇසූහ.</verse>
				<verse number="35">යේසුස්වහන්සේ ඔවුන් අමතමින් “ආලෝකය ඔබ අතරේ තිබෙන්නේ තව ටික කලකටයි. අන්ධකාරය ඔබ අල්ලා නො ගන්නා පිණිස, ආලෝකය තිබියදී, ගමන් කරන්න. අන්ධකාරයේ ගමන් කරන මිනිසා, තමන් කොතැනක යනවාදැයි නො දනී.</verse>
				<verse number="36">ඔබ ආලෝකයේ පුත්‍රයින් වන පිණිස ආලෝකය ඔබ අතරේ තිබියදී ආලෝකය තුළ විශ්වාසය තබන්නැ” යි කී සේක. යේසුස්වහන්සේ ඒ දෑ පැවසූ පසු එතැනින් බැහැරව ගොස්, ඔවුන් වෙතින් සැඟවුණු සේක.</verse>
				<verse number="37">යේසුස්වහන්සේ ඔවුන් ඉදිරියේ මෙපමණ අනුහස් ලකුණු දැක්වුව ද, ඔවුන් උන්වහන්සේ මත විශ්වාසය තැබුවේ නැත.</verse>
				<verse number="38">එසේ වූයේ, දිවැසිවර යෙසායා අනාවැකියෙන් පැවසූ, “ස්වාමින්වහන්ස, අප පැවසූ පණිවුඩය විශ්වාස කළේ කවුරු ද? ස්වාමින්වහන්සේගේ බාහුව හෙළි කරන ලද්දේ කවරකුට ද?” යන වචනය ඉටු වන පිණිස ය.</verse>
				<verse number="39">එබැවින් ඔවුන්ට විශ්වාස කිරීමට නො හැකි වූ හේතුව යෙසායා තවත් තැනක දක්වයි:</verse>
				<verse number="40">“උන්වහන්සේ ඔවුන්ගේ ඇස් අන්ධ කළ සේක: සිත් දැඩි කළ සේක. එසේ කළේ, ඔවුන් තමන්ගේ ඇස්වලින් නො දකින පිණිසත්, සිත්වලින් තේරුම් නො ගන්නා පිණිසත්, මගෙන් සුවය ලැබීමට මා වෙත නො හැරෙන පිණිසත් ය.”</verse>
				<verse number="41">යෙසායා මේ දෑ කීවේ, උන්වහන්සේගේ තේජෝ මහිමය දුටු නිසා, උන්වහන්සේ ගැන කතා කරමිනි.</verse>
				<verse number="42">එසේ වුවත්, යූදා ප්‍රභූන් පවා බොහෝ දෙනෙක් යේසුස්වහන්සේ තුළ විශ්වාස කළහ. එහෙත් ඒ වග හෙළි වුවහොත් තමන් සිනගෝගයෙන් නෙරපා හරිතැයි පරිසීන්ට බයින් ඔවුන් එය ප්‍රකාශ කළේ නැත.</verse>
				<verse number="43">මන්ද දෙවියන්වහන්සේගෙන් ලැබෙන ගෞරවයට වඩා, මිනිසුන්ගෙන් ලැබෙන ගෞරවයට ඔවුන් ප්‍රේම කළ හෙයිනි.</verse>
				<verse number="44">එකල යේසුස්වහන්සේ උස් හඬ නගා කතා කරමින්, “මා තුළ විශ්වාස කරන කවරකු වුව, විශ්වාස කරන්නේ මා තුළ නො ව, මා එවූ තැනැන්වහන්සේ තුළ ය.</verse>
				<verse number="45">මා දකින කවරෙක් වුව, මා එවූ තැනැන්වහන්සේ දකී.</verse>
				<verse number="46">මා ලෝකයට ආලෝකයව ආවේ, මා තුළ විශ්වාස කරන කිසිවකුත් අන්ධකාරයේ නො සිටින පිණිසයි.</verse>
				<verse number="47">“යමෙක් මගේ වචන අසා, ඒවා පිළිපදින්නේ නැති වුවත්, මා ඔහු විනිශ්චය කරන්නේ නැත. මා ආවේ ලෝකය විනිශ්චය කිරීමට නො වෙයි; ලෝකය ගලවා ගැනීමටයි.</verse>
				<verse number="48">මා ප්‍රතික්ෂේප කරන, මගේ වචන නො පිළිගන්න අයට විනිශ්චයකරුවෙක් සිටියි. මා පවසන මේ වචන ම අන්තිම දවසේ ඔවුන් විනිශ්චය කරනු ඇත.</verse>
				<verse number="49">මන්ද මගේම අධිකාරිත්වයෙන් මා කතා කළා නො වේ; මා විසින් පැවසිය යුත්තේ මොනවා ද, කතා කළ යුත්තේ කෙසේදැයි මා එවූ පියාණන්වහන්සේ මට ආඥාවක් දී තිබේ.</verse>
				<verse number="50">උන්වහන්සේගේ ආඥාව සදාතන ජීවනය බව මම දනිමි. එබැවින් මා පවසන්නේ, පවසන්නැයි පියාණන්වහන්සේ මට කී දෑ යැ” යි පැවසූ සේක.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">ඒ, පාස්කු මංගල්‍යයට මදකට කලින් ය. මෙලොවින් බැහැරව පියාණන්වහන්සේ වෙත යෑමේ තම පැය පැමිණ ඇති වග යේසුස්වහන්සේ දැනගත් සේක. මෙලොව සිටි ස්වකීයයන්ට ප්‍රේම කළ උන්වහන්සේ, අන්තිමය දක්වා ඔවුන්ට ප්‍රේම කළ සේක.</verse>
				<verse number="2">රාත්‍රි භෝජනය අතරේ, උන්වහන්සේ පාවා දීමට සීමොන් ඉස්කාරියොත්ගේ පුත් යූදස්ගේ සිත යක්ෂයා විසින් ඒ වන විටත් පොලඹවා තිබිණි.</verse>
				<verse number="3">පියාණන්වහන්සේ සියලු දේ තම අත්වලට දී ඇති වගත්, තමන් දෙවියන්වහන්සේ වෙතින් පැමිණි වගත්, දෙවියන්වහන්සේ වෙත ආපසු යන වගත් දත් යේසුස්වහන්සේ,</verse>
				<verse number="4">භෝජනයෙන් නැගිට, උඩු කබාය ගලවා, තුවායක් ගෙන, එය තම ඉඟ දවටා,</verse>
				<verse number="5">ඉන්පසු බඳුනකට ජලය වත්කර, තම ගෝලයින්ගේ පා සෝදමින්, ඉඟ බැඳි තුවායෙන් පිසදමන්නට වන් සේක.</verse>
				<verse number="6">උන්වහන්සේ සීමොන් පේතෘස් වෙත ආ කල, “ස්වාමිනි, ඔබතුමා මගේත් පා සෝදනවාදැ?” යි ඔහු ඇසුවේ ය.</verse>
				<verse number="7">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා කරන දේ ඔබට දැන් නො වැටහුණත්, පසුව ඔබ වටහා ගනු ඇතැ” යි කී සේක.</verse>
				<verse number="8">එවිට පේතෘස්, “කවදාවත් ඔබ මගේ පාද සෝදන්නේ නෑ” යි උන්වහන්සේට කීවේ ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා ඔබ නො සේදුවොත්, මා සමඟ පංගුකාරකමක් ඔබට නැතැ” යි කී සේක.</verse>
				<verse number="9">“මගේ පා පමණක් නො වෙයි ස්වාමිනි, මගේ අත් හා හිසත් සෝදන්නැ” යි සීමොන් පේතෘස් කීවේ ය.</verse>
				<verse number="10">යේසුස්වහන්සේ ඔහු අමතමින්, “නා ගත් කෙනකුට ඕනෑ කරන්නේ, පා සේදීම පමණයි; ඔහු මුළුමනින් පවිත්‍රයි; ඔබත් පවිත්‍රයි. එනමුත් ඔබ හැම කෙනෙක්ම නො වේ” යි කී සේක.</verse>
				<verse number="11">මන්ද තමා පාවා දෙන්නා කවුරුදැයි උන්වහන්සේ දැන සිටි සේක. “ඔබ හැම කෙනෙක්ම පවිත්‍ර නැතැ” යි උන්වහන්සේ කීවේ එබැවිනි.</verse>
				<verse number="12">ඔවුන්ගේ පා සේදූ පසු, උන්වහන්සේ තම කබාය යළි ඇඟ ලා, තම අසුනේ හිඳ, ඔවුන්ට මෙසේ පැවසූ සේක. “මා දැන් ඔබට කළ දේ කුමක්දැයි ඔබට වැටහෙනවා ද?</verse>
				<verse number="13">ඔබ මා අමතන්නේ, ‘ගුරුතුමනි, ස්වාමිනි’ කියායි. එය නිවැරදියි; මන්ද මා එහෙමයි.</verse>
				<verse number="14">ඔබේ ගුරුවරයාත්, ස්වාමියාත් වන මා ඔබේ පා සේදුවා නම්, ඔබත් එකිනෙකාගේ පා සේදිය යුතුයි.</verse>
				<verse number="15">මා කළේ, මා කළ ලෙස ඔබත් කළ යුතු බවට ආදර්ශයක් දීමයි.</verse>
				<verse number="16">සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, දාසයෙක් තම ස්වාමියාට වඩා උතුම් නො වේ; පණිවුඩකරුවෙක් ඔහු යැවූ තැනැත්තාට වඩා උතුම් නො වේ;</verse>
				<verse number="17">දැන් ඔබ මේවා දන්නා නිසා, ඔබ ඒවා පිළිපදිනවා නම් ඔබ භාග්‍යවන්තයි.</verse>
				<verse number="18">“මා කතා කරන්නේ ඔබ හැම කෙනකු ගැන නො වෙයි. මා තෝරාගත් අය කවුරුදැයි මා දන්නවා. එනමුත් ‘මා හා එක පතේ කෑ තැනැත්තා මට ද්‍රෝහී වී යැ’ යි ලියා ඇති ශුද්ධ ලියවිල්ල සැබෑ විය යුතුයි.</verse>
				<verse number="19">“සිදුවන්නට කලින් මා ඔබට කියන්නේ, එය සිදු වූ කල, උන්වහන්සේ මා වග ඔබ විශ්වාස කරන පිණිසයි.</verse>
				<verse number="20">සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මවිසින් එවන කවරකු හෝ පිළිගන්නා, මා පිළිගනියි; මා පිළිගන්නා, මා එවූ තැනැන්වහන්සේ පිළිගනී යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="21">එසේ පැවසූ පසු, යේසුස්වහන්සේ ආත්මයෙන් කැලඹී, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, ඔබගෙන් කෙනෙක් මා පාවා දෙන්නේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="22">උන්වහන්සේ කීවේ කවුරුන් ගැනදැයි සැකයෙන් ගෝලයෝ එකිනෙකා දෙස බලන්නට වූහ.</verse>
				<verse number="23">ගෝලයන්ගෙන් කෙනකු වූ යේසුස්වහන්සේ ප්‍රේම කළ ගෝලයා මේසයෙහි උන්වහන්සේගේ ළයට ළංව හේත්තු වී සිටියේ ය.</verse>
				<verse number="24">සීමොන් පේතෘස් ඔහුට සංඥා කොට, උන්වහන්සේ අදහස් කළේ කවරකු ගැනදැයි අසන්නට කීවේ ය.</verse>
				<verse number="25">එබැවින් ඔහු යේසුස්වහන්සේගේ ළයට හේත්තු වී, “ස්වාමිනි ඒ කවුරුන් දැ?” යි ඇසී ය.</verse>
				<verse number="26">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා මේ රොටි කැබැල්ල පොඟවා දෙන්නේ කවරකුට ද, ඒ ඔහු යැ” යි කියා, උන්වහන්සේ රොටි කැබැල්ල පොඟවා, සීමොන් ඉස්කාරියොත්ගේ පුත් යූදස්ට එය දුන් සේක.</verse>
				<verse number="27">ඔහු රොටි කැබැල්ල ගත් විගස, සාතන් ඔහුට ඇතුළු විය. එවිට යේසුස්වහන්සේ ඔහු අමතා, “ඔබ කරන්නට යන දේ විගසින් කරන්නැ” යි කී සේක.</verse>
				<verse number="28">උන්වහන්සේ එසේ කීවේ මන්දැයි මේසයට හිඳ සිටි කිසිවකුත් දැන සිටියේ නැත.</verse>
				<verse number="29">මුදල් පසුම්බිය භාරව සිටියේ යූදස් බැවින්, මංගල්‍යය සඳහා යමක් මිලට ගැනීමට හෝ දිළිඳුන්ට යමක් දීමට හෝ යේසුස්වහන්සේ ඔහුට කියන්නට ඇතැයි සමහරු සිතූහ.</verse>
				<verse number="30">රොටි කැබැල්ල ගත් විගස යූදස් පිටතට ගියේ ය. එය රාත්‍රිය විය.</verse>
				<verse number="31">ඔහු ගිය පසු යේසුස්වහන්සේ කතා කොට, “දැන් මනුෂ්‍ය පුත්‍රයාණන් තේජසට පමුණුවන ලද්දේ ය; දෙවියන්වහන්සේ එතුමන් තුළ තේජසට පත් වූ සේක.</verse>
				<verse number="32">එතුමන් තුළ දෙවියන්වහන්සේ තේජසට පැමිණි සේක් නම්, උන්වහන්සේ තමන් තුළ පුත්‍රයාණන් ද තේජසට පමුණුවන සේක; වහාම එතුමාණන් තේජසට පත් කරන සේක.</verse>
				<verse number="33">“මගේ දරුවනි, තව ටික වේලාවක් මම ඔබ සමඟ සිටින්නෙමි. ඉන්පසු ඔබ මා සොයන නමුත්, මා යුදෙව්වන්ට කී ලෙස, දැන් ඔබටත් කියන්නේ, මා යන තැනට එන්නට ඔබට නුපුළුවන් බවයි.</verse>
				<verse number="34">“අලුත් ආඥාවක් මම ඔබට දෙන්නෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න; මා ඔබට ප්‍රේම කළා සේ, ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.</verse>
				<verse number="35">එකිනෙකාට ඔබ ප්‍රේම කරන්නේ නම් එයින්ම, ඔබ මගේ ගෝලයින් වග සියලු දෙනා දැනගනු ඇතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="36">“ස්වාමිනි, ඔබතුමා යන්නේ කොහේ දැ?” යි සීමොන් පේතෘස් ඇසී ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා යන තැනට මා අනුව ඒමට දැන්ම ඔබට බැරි ය. එහෙත් පසුව ඔබ එනු ඇතැ” යි කී සේක.</verse>
				<verse number="37">පේතෘස් උන්වහන්සේ යළි අමතමින්, “ස්වාමිනි, දැන්ම ඔබ අනුව එන්නට මට බැරි ඇයි? ඔබ උදෙසා මා ජීවිතය වුවත් දෙනවා” යි කීවේ ය.</verse>
				<verse number="38">යේසුස්වහන්සේ එවිට, “මා උදෙසා ඔබේ ජීවිතය දෙනවා ද? සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, කුකුළා හඬලන්නට පළමු මා හඳුනන්නේ නැතැයි ඔබ තුන් වතාවක්ම කියනු ඇත කියා” යි කී සේක.</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">“ඔබ හදවත් කලබල වන්නට ඉඩ නො දෙන්න. ඔබ දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නහු ය; මා කෙරෙහිත් විශ්වාස කරන්න.</verse>
				<verse number="2">මාගේ පියාණන්වහන්සේගේ ගෘහයේ බොහෝ නිවහන් තිබේ. එසේ නො වේ නම්, ඔබට ස්ථානයක් සූදානම් කරන්නට මා යනවායයි මා ඔබට කියනවා ද?</verse>
				<verse number="3">මා ගොස්, ඔබටත් තැනක් සූදානම් කරන්නෙම් නම්, මා සිටින තැන ඔබත් සිටින පිණිස, මා සමඟ ඔබ කැඳවාගෙන යෑමට එන්නෙමි.</verse>
				<verse number="4">මා යන තැනට යන මාර්ගය ඔබත් දන්නවා” යි පැවසූ සේක.</verse>
				<verse number="5">තෝමස් උන්වහන්සේ අමතමින්, “ස්වාමිනි, ඔබ කොතැනක යනවාදැයි අප දන්නේ නෑ; අප මාර්ගය දන්නේ කොහොම දැ” යි ඇසී ය.</verse>
				<verse number="6">යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම ය; මා මඟින් මිස, කිසිවකු පියාණන්වහන්සේ වෙත එන්නේ නැත.</verse>
				<verse number="7">ඔබ මා හැඳින ගත්තා නම්, මගේ පියාණන්වහන්සේ ද හඳුනා ගනු ඇත. මෙතැන් පටන් ඔබ උන්වහන්සේ හඳුනති; උන්වහන්සේ දැකලාත් තිබේ යැ” යි කී සේක.</verse>
				<verse number="8">පිලිප් කතා කරමින්, “ස්වාමිනි, අපට පියාණන්වහන්සේ පෙන්වන්න. එයම අපට ඇති” යි කීවේ ය.</verse>
				<verse number="9">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මෙපමණ කලක් මා සමඟ ඉඳලත් තවම මා හඳුනන්නේ නැද්ද පිලිප්? මා දුටු තැනැත්තා පියාණන්වහන්සේ දැක තිබේ. එසේ නම්, ‘අපට පියාණන්වහන්සේ පෙන්වන්නැ’ යි කියන්නේ කෙසේ ද?</verse>
				<verse number="10">මා පියාණන්වහන්සේ තුළත්, පියාණන්වහන්සේ මා තුළත් වෙසෙන වග, ඔබ විශ්වාස කරන්නේ නැද්ද? මා ඔබට පවසන වචන ම විසින්ම කරන කතා නො ව, මා තුළ වසන පියාණන්වහන්සේගේ ම ක්‍රියා කිරීමකි.</verse>
				<verse number="11">‘මා පියාණන්වහන්සේ තුළත්, පියාණන්වහන්සේ මා තුළත් වෙසෙන සේක’ යන මගේ කීම විශ්වාස කරන්න. අඩු වශයෙන් මා කරන ක්‍රියා නිසාවත් විශ්වාස කරන්න.</verse>
				<verse number="12">සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මා තුළ විශ්වාස කරන කවුරුන් වුවත්, මා කරන ක්‍රියා කරනු ඇති බවයි; මීටත් වඩා මහත් ක්‍රියා ඔහු කරනු ඇත. මන්ද පියාණන්වහන්සේ වෙත මා යන නිසයි.</verse>
				<verse number="13">මගේ නමින් ඔබ මොන යම් දෙයක් ඉල්ලුවත්, පුත්‍රයාණන් තුළ පියාණන්වහන්සේ ගෞරවයට පැමිණෙනු පිණිස, මම එය ඉටු කරමි.</verse>
				<verse number="14">ඔබ මාගේ නාමයෙන් මොන යම් දෙයක් ඉල්ලුවත් මම එය කරන්නෙමි.</verse>
				<verse number="15">“ඔබ මට ප්‍රේම කරනවා නම්, ඔබ මගේ ආඥා පිළිපදියි.</verse>
				<verse number="16">එවිට, පියාණන්වහන්සේගෙන් මම ඉල්ලන්නෙමි; උන්වහන්සේ සදහට ම ඔබ සමඟ සිටින්නට වෙනත් සහනදායකයකු දෙන සේක.</verse>
				<verse number="17">ඒ, සත්‍යතාවේ ආත්මයාණන් ය. උන්වහන්සේ පිළිගන්නට ලෝකයාට බැරි ය. මන්ද ලෝකයා උන්වහන්සේ දකින්නේවත්, හඳුනන්නේවත් නැත; එහෙත් ඔබ උන්වහන්සේ හඳුනති. මන්ද උන්වහන්සේ ඔබ සමඟ වාසය කරන සේක්, ඔබ තුළ සිටින සේක.</verse>
				<verse number="18">අනාථයින් සේ ඔබ හැර දමා මා යන්නේ නැත; මම ඔබ වෙත එන්නෙමි.</verse>
				<verse number="19">තව ටිකකට පසු, ලෝකයා තවත් මා දකින්නේ නැත. එහෙත් ඔබ මා දකිනු ඇත. මන්ද මා ජීවත් වන නිසා, ඔබත් ජීවත්වනු ඇත.</verse>
				<verse number="20">ඒ දවසේ මා, මගේ පියාණන්වහන්සේ තුළත්, ඔබ මා තුළත්, මා ඔබ තුළත් වන වග ඔබ වටහා ගනු ඇත.</verse>
				<verse number="21">මාගේ ආඥා ඇති කවරකු වුව, ඒවා පිළිපදින්නේ නම්, මට ප්‍රේම කරන්නේ ඔහු ය. මට ප්‍රේම කරන්නා, මගේ පියාණන්වහන්සේ විසින් ප්‍රේම කරනු ලබයි; මමත් ඔහුට ප්‍රේම කරමින්, ඔහුට හෙළිදරවු වෙමි” යි පැවසූ සේක.</verse>
				<verse number="22">එවිට යූදස් (ඉස්කාරියොත් නො වේ.) කතා කොට, “ස්වාමිනි, ඔබතුමා ලෝකයට හෙළිදරවු නො වී අපට හෙළිදරවු වන්නේ කොහොම දැ?” යි ඇසී ය.</verse>
				<verse number="23">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “යමෙක් මට ප්‍රේම කරනවා නම්, ඔහු මගේ වචන පිළිපදියි. මගේ පියාණන්වහන්සේ ඔහුට ප්‍රේම කරන සේක. අපි ඔහු වෙත පැමිණ, ඔහු සමඟ වාසය කරන්නෙමු.</verse>
				<verse number="24">මට ප්‍රේම නො කරන තැනැත්තා මගේ වචන පිළිපදින්නේ නැත. ඔබ අසන මේ වචන මගේ නො ව, මා එවූ පියාණන්වහන්සේගේ ය.</verse>
				<verse number="25">“මා මේ දේවල් ඔබට කීවේ මා ඔබ සමඟ සිටියදීයි.</verse>
				<verse number="26">මාගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සහනදායකයාණන් වන ශුද්ධාත්මයාණන් පැමිණි කල, උන්වහන්සේ හැම දෙයක්ම ඔබට උගන්වමින්, මා ඔබට පැවසූ සියල්ල යළි ඔබට සිහි කරනු ඇත.</verse>
				<verse number="27">සාමය ඔබ සමඟ තබා යන්නෙමි; මාගේ සාමය ඔබට දෙන්නෙමි. මා ඔබට දෙන්නේ ලෝකයා දෙන විදියට නො වේ. ඔබගේ හදවත් කලබල වන්නට ඉඩ නො දෙන්න. බය නො වන්න.</verse>
				<verse number="28">“ ‘යන්නෙමි; මම ඔබ වෙත යළි එන්නෙමි’ යි මා කියනු ඔබ අසා සිටියා. ඔබ මට ප්‍රේම කළා නම්, පියාණන්වහන්සේ වෙත මා යන නිසා, ඔබ ප්‍රීති වනු ඇත. මන්ද, පියාණන්වහන්සේ මට වඩා උතුම් ය.</verse>
				<verse number="29">මෙය සිදුවන්නට කලින් මා ඔබට කීවේ, එය සිදු වූ විට ඔබ විශ්වාස කරන පිණිසයි.</verse>
				<verse number="30">තවත් දුරට ඔබ සමඟ මා කතා කරන්නේ නැත. මන්ද මේ ලෝකයේ අධිපතියා පැමිණේ. එහෙත් ඔහුට මා කෙරෙහි කිසිදු බලයක් නැත.</verse>
				<verse number="31">එහෙත් එසේ වන්නේ පියාණන්වහන්සේට මා ප්‍රේම කරන වගත්, පියාණන්වහන්සේ අණ කළ පරිදි මා කරන වගත් ලෝකයා දැනගන්නා පිණිස ය. “නැගිටින්න, අපි මෙතැනින් යමු.”</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">“සැබෑ මිදි වැල මමයි; වැවිලිකරුවාණෝ මගේ පියාණන්වහන්සේයි.</verse>
				<verse number="2">මා තුළ ඇති පල නො දරන හැම අත්තක් ම උන්වහන්සේ කපා හරින සේක්, පල දරන අතු හැම වඩාත් පල දරන පිණිස කප්පාදු කරන සේක.</verse>
				<verse number="3">මා ඔබට පැවසූ වචනය හේතු කොට දැනටමත් ඔබ පවිත්‍ර ය.</verse>
				<verse number="4">මා තුළ රැඳී පැවත සිටින්න; මමත් ඔබ තුළ රැඳී සිටින්නෙමි. මිදි වැලේ නො රඳා, ස්වයංව පල දැරීමට අත්තකට නො හැකිවා සේ ම, මා තුළ රඳා පැවත සිටියහොත් මිස, පල දරන්නට ඔබටත් බැරි ය.</verse>
				<verse number="5">“මිදි වැල මමයි; එහි අතු ඔබයි. යමෙක් මා තුළ රඳා පැවත සිටින්නේ ද, මා ඔහු තුළ සිටින්නේ ද, බොහෝ පල දරන්නේ ඔහු ය. මගෙන් වෙන්ව කිසිවක් කරන්නට ඔබට නො හැකි ය.</verse>
				<verse number="6">මා තුළ නො රඳන කවරකු වුවත් ඉවත හෙළනු ලැබ, වියළී යන අත්තක් වැන්න. එවැනි අතු එකතු කර, ගින්නේ හෙළා දමනු ලැබ, දවා දමනු ලැබේ.</verse>
				<verse number="7">ඔබ මා තුළ රඳා පවතී නම්, මගේ වචන ඔබ තුළ රඳා පවතී නම්, ඔබ කැමති ඕනෑම දෙයක් ඉල්ලන්න; එවිට ඒ දේ ඔබට කර දෙනු ලැබේ.</verse>
				<verse number="8">මගේ පියාණන්වහන්සේ මහිමයට පැමිණෙන්නේ, ඔබ බොහෝ පල දරා, මගේ ගෝලයන් වග සනාථ කිරීමෙනි.</verse>
				<verse number="9">“පියාණන්වහන්සේ මට ප්‍රේම කළ සේ, මමත් ඔබට ප්‍රේම කළෙමි. මගේ ප්‍රේමයේ රැඳී සිටින්න.</verse>
				<verse number="10">මා, මගේ පියාණන්වහන්සේගේ ආඥා පිළිපදිමින්, උන්වහන්සේගේ ප්‍රේමයේ රඳා සිටි අයුරින්, ඔබත් මාගේ ආඥා පිළිපදින්නේ නම්, මගේ ප්‍රේමයේ රඳා සිටිනු ඇත.</verse>
				<verse number="11">මේ දේවල් මා ඔබට කීවේ, මගේ ප්‍රීතිය ඔබ තුළ වන පිණිස හා ඔබේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ය.</verse>
				<verse number="12">මාගේ ආඥාව මෙයයි: මා ඔබට ප්‍රේම කළ ලෙස, ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.</verse>
				<verse number="13">තම මිතුරන් උදෙසා ජීවිතය පිදීමට වඩා ශ්‍රේෂ්ඨ ප්‍රේමයක් කිසිවකුටත් තිබිය නො හැක.</verse>
				<verse number="14">මා ඔබට අණ කළ දෑ ඔබ පිළිපදින්නේ නම්, ඔබයි මගේ මිත්‍රයෝ.</verse>
				<verse number="15">ඔබ දාසයින් යයි තවදුරටත් මා කියන්නේ නැත. මන්ද තම ස්වාමියා කරන්නේ මොනවාදැයි දාසයා දන්නේ නැත. එනමුත් ඔබ මාගේ මිත්‍රයින් යැයි මා කීවේ මගේ පියාණන්ගෙන් මා ඇසූ හැම දෙයක්ම මා ඔබට දැනගන්නට සැලසූ නිසයි.</verse>
				<verse number="16">ඔබ, මා තෝරා ගත්තා නො වේ. ඔබ තෝරා, පත් කළේ මමයි. එසේ කළේ, මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් ඔබ ඉල්ලන කවර දෙයක් වුවත්, උන්වහන්සේ ඔබට දෙන පිණිසත්, ඔබ ගොස් පල දරන පිණිසත්, ඔබේ ඒ පල පවතින පිණිසත් ය.</verse>
				<verse number="17">මේ දේවල් මා ඔබට ආඥා කරන්නේ, ඔබ එකිනෙකාට ප්‍රේම කරන පිණිස ය.</verse>
				<verse number="18">“ලෝකයා ඔබට ද්වේෂ කරන විට, ඔබට ද්වේෂ කරන්නට පළමුවෙන් ඔවුන් මට ද්වේෂ කළ වග දැනගන්න.</verse>
				<verse number="19">ඔබ ලෝකයට අයිති නම්, තමන්ගේම එකකුට සේ ලෝකයා ඔබට ප්‍රේම කරනු ඇත. එහෙත් ලෝකයා ඔබට වෛර වන්නේ, ඔබ ලෝකයෙන් නො වන නිසාත්, මා ලෝකයෙන් ඔබ තෝරාගත් නිසාත් ය.</verse>
				<verse number="20">‘දාසයා තම ස්වාමියාට වඩා උතුම් නැතැ’ යි මා කී වචනය සිහි කරන්න. ඔවුහු මට පීඩා කළෝ නම්, ඔබටත් පීඩා කරනු ඇත. ඔවුහු මගේ වචන පිළිපැද්දෝ නම්, ඔබගේ වචනත් පිළිපදිනු ඇත.</verse>
				<verse number="21">ඔවුන් මේ සියලු දෑ ඔබට කරන්නේ, මාගේ නාමය නිසා ය. මන්ද ඔවුන් මා එවූ තැනැන්වහන්සේ හඳුනන්නේ නැත.</verse>
				<verse number="22">මා නො පැමිණියා නම්, හා ඔවුන්ට නො පැවසුවා නම් පාපය ගැන ඔවුන් වරදකරුවන් නො වේ. එහෙත් දැන් තම පාපය ගැන නිදහසට කරුණු ඔවුන්ට නැත.</verse>
				<verse number="23">මට ද්වේෂ කරන කවරෙක් වුවත්, මගේ පියාණන්වහන්සේට ද ද්වේෂ කරයි.</verse>
				<verse number="24">කිසි කෙනකු නො කළ වැඩ මා ඔවුන් මධ්‍යයේ සිදු නො කළා නම්, පාපය ගැන ඔවුන් වරදකරුවන් නො වේ. එනමුත් දැන් ඔවුහු ඒ දෑ දැක, මටත්, මගේ පියාණන්වහන්සේටත් යන දෙදෙනාටම ද්වේෂ කරති.</verse>
				<verse number="25">එහෙත් එසේ වූයේ, ‘අහේතුකව ඔවුහු මට ද්වේෂ කළහ’ යන ඔවුන්ගේ දහම් නීතියේ ලියා ඇති වචනය ඉෂ්ට විය යුතු නිසා ය.</verse>
				<verse number="26">“පියාණන්වහන්සේ වෙතින් මා ඔබ වෙත එවන සහනදායකයාණන්, පියාණන්වහන්සේ වෙතින් නික්ම එන සත්‍යතාවයේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මා ගැන සාක්ෂි දෙන සේක.</verse>
				<verse number="27">මුල පටන්ම ඔබ මා සමඟ සිටි නිසා, ඔබත් මා ගැන සාක්ෂි දැරිය යුතුයි.</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">“මේ සියල්ල මා ඔබට කීවේ, ඔබ අධෛර්යය නො වන පිණිසයි.</verse>
				<verse number="2">ඔවුන් සිනගෝගවලින් ඔබ නෙරපා දමනු ඇත. ඇත්තෙන්ම, ඔබ මරා දමන කවරකු වුවත්, එය දෙවියන්වහන්සේට ඔප්පු කරන මෙහෙයකැයි සිතන කාලය උදා වනු ඇත.</verse>
				<verse number="3">ඔවුන් මේ දෑ කරන්නේ, ඔවුන් පියාණන්වහන්සේ හෝ මා හෝ හඳුනන්නේ නැති නිසයි.</verse>
				<verse number="4">මා මේවා ඔබට කීවේ, ඒවායේ කාලය පැමිණි කල, මා ඒ දෑ කී වග ඔබට සිහිවීම පිණිසයි. මුලින් මේ දෑ ඔබට නො කීවේ මා ඔබ සමඟ සිටි නිසයි.</verse>
				<verse number="5">මම දැන්, මා එවූ තැනැන්වහන්සේ වෙත යන්නෙමි. එහෙත්, ‘ඔබ යන්නේ කොහේ ද?’ කියා ඔබ කිසිවකු මගෙන් අහන්නේ නැත.</verse>
				<verse number="6">එහෙත් මා කී මේ දේවල් නිසා ඔබේ හදවත් දුකින් පිරී ඇත.</verse>
				<verse number="7">එසේ වුවත් මම ඔබට සැබෑව කියන්නම්; මා ඉවත්ව යන්නේ ඔබේම යහපතටයි. මා ඉවත්ව ගියහොත් මිස, සහනදායකයාණන් ඔබ වෙත එන්නේ නැත. එහෙත් මා ගියහොත්, මම උන්වහන්සේ ඔබ වෙත එවන්නෙමි.</verse>
				<verse number="8">උන්වහන්සේ පැමිණි කල, පාපය ද ධර්මිෂ්ඨකම ද විනිශ්චය ද පිළිබඳව ලෝකයාට ඒත්තු ගන්වන සේක.</verse>
				<verse number="9">පාපය පිළිබඳව වන්නේ, ඔවුන් මා අදහා නො ගැනීම නිසා ය.</verse>
				<verse number="10">ධර්මිෂ්ඨකම පිළිබඳව වන්නේ, පියාණන්වහන්සේ වෙත මා යන හෙයින් මින් මතු මා දකින්නට ඔබට නො ලැබෙන නිසා ය.</verse>
				<verse number="11">විනිශ්චය පිළිබඳව වන්නේ, මෙලොවෙහි අධිපතියා විනිශ්චය කරනු ලැබ ඇති නිසා ය.</verse>
				<verse number="12">“ඔබට කියන්නට තවත් බොහෝ දේ මට තියේ. එහෙත් දැන් ඒවා දරන්නට ඔබට නුපුළුවන.</verse>
				<verse number="13">එහෙත් සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ සම්පූර්ණ සත්‍යය කරා ඔබට මඟපෙන්වනු ඇත. උන්වහන්සේ තම ආධිපත්‍යයෙන් කතා නො කරන සේක්, තමන් අසන දෑ පවසමින්, මතු පැමිණෙන දෑ ඔබට ප්‍රකාශ කරනු ඇත.</verse>
				<verse number="14">මා සතු දෑ ගෙන, ඒවා ඔබට ප්‍රකාශ කරමින් උන්වහන්සේ මා මහිමයට පමුණුවන සේක.</verse>
				<verse number="15">පියාණන්වහන්සේ සන්තක සියල්ල මාගෙයි; ආත්මයාණන් මාගේ දෑ ගෙන ඔබට ප්‍රකාශ කරනු ඇතැ” යි මා කීවේ එබැවිනි.</verse>
				<verse number="16">“තව ස්වල්ප වේලාවකින් ඔබට තවත් මා දකින්නට නො ලැබෙයි, යළි තවත් ස්වල්ප වේලාවකින් ඔබ මා දකිනු ඇතැ” යි කී සේක.</verse>
				<verse number="17">එවිට උන්වහන්සේගේ ගෝලයන්ගෙන් ඇතමෙක් එකිනෙකා අමතමින්, “ ‘තව ස්වල්ප වේලාවකින් ඔබට තවත් මා දකින්නට නො ලැබෙයි; යළි තවත් ස්වල්ප වේලාවකින් ඔබ මා දකිනු ඇත’ කියාත්, ‘මා පියාණන්වහන්සේ වෙත යන නිසා ය’ කියාත් අපට මෙතුමන් කියන කියමනේ තේරුම කුමක් දැ?” යි පැවසූහ.</verse>
				<verse number="18">එබැවින් ඔවුහු, “මේ කියන ‘ස්වල්ප වේලාව’ කුමක් ද? මෙතුමන් කියන දේ අපට වැටහෙන්නේ නැතැ” යි පැවසූහ.</verse>
				<verse number="19">ඒ ගැන තමාගෙන් අසන්නට ඔවුන්ට ඕනෑ වග දැනගත් යේසුස්වහන්සේ, “ඔබ එකිනෙකාගෙන් අසන්නේ, ‘ස්වල්ප වේලාවකින් ඔබට තවත් මා දකින්නට නො ලැබෙයි; යළි තවත් ස්වල්ප වේලාවකින් ඔබ මා දකිනු ඇත’ කීමෙන් මා අදහස් කළේ කුමක් ද කියා නො වේ ද?</verse>
				<verse number="20">සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මුළු ලෝකයම ප්‍රීති වන අතර ඔබ හඬමින්, විලාප නඟනු ඇත. ඔබ ශෝක වනු ඇත. එහෙත් ඔබේ ශෝකය ප්‍රීතියට හැරෙයි.</verse>
				<verse number="21">ප්‍රසූතියේදී ගැබිණියකට වේදනා දැනෙන්නේ, ඇගේ පැය පැමිණි නිසයි. එහෙත් ළදරුවා බිහි කළ පසු, ලෝකයට දරුවෙක් උපන්නේ ය යන ප්‍රීතිය නිසා ඈ වේදනාව අමතක කරන්නී ය.</verse>
				<verse number="22">එසේම දැන් ඔබගේ ශෝකය තිබේ. එනමුත් මා යළි ඔබ දකින්නෙමි. එවිට ඔබගේ හදවත් ප්‍රීති වනු ඇත. ඔබගේ ප්‍රීතිය කිසිවකුත් ඔබෙන් පැහැර ගන්නේ නැත.</verse>
				<verse number="23">එදාට ඔබ මගෙන් කිසිවක් අසන්නේ නැත. සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මාගේ නාමයෙන් මගේ පියාණන්වහන්සේගෙන් ඔබ ඉල්ලන කවර දෙයක් වුවත්, උන්වහන්සේ එය ඔබට දෙන සේක.</verse>
				<verse number="24">මේ දක්වා මාගේ නාමයෙන් ඔබ කිසිවක්ම ඉල්ලා නැත. ඉල්ලන්න; එවිට ඔබට ලැබෙන්නේ ය. එසේ ඔබේ ප්‍රීතිය සම්පූර්ණ වන්නේ ය.</verse>
				<verse number="25">“උපමා උපහැරණ මඟින් මේ දෑ මා ඔබට කීවත්, තවත් ඒ විදියට කතා නො කර, පැහැදිලිව පියාණන්වහන්සේ ගැන කතා කරන කාලය පැමිණේ.</verse>
				<verse number="26">ඒ දවසේ ඔබ මාගේ නාමයෙන් ඉල්ලනු ඇත. එවිට ඔබ වෙනුවෙන් පියාණන්වහන්සේගෙන් ඉල්ලන්නෙමියි මා කියන්නේ නැත.</verse>
				<verse number="27">මන්ද ඔබ මට ප්‍රේම කළ නිසාත්, දෙවියන්වහන්සේ වෙතින් මා ආ වග ඔබ විශ්වාස කළ නිසාත්, පියාණන්වහන්සේ ම ඔබට ප්‍රේම කරන සේක.</verse>
				<verse number="28">පියාණන්වහන්සේ වෙතින් අවුත් ලෝකයට පිවිසි මම, දැන් මෙලොවින් නික්ම යළි පියාණන්වහන්සේ වෙත යන්නෙමි” යි පැවසූ සේක.</verse>
				<verse number="29">උන්වහන්සේගේ ගෝලයෝ, “ඔබතුමා උපමා උපහැරණයෙන් තොරව දැන් ඔය පැහැදිලිව කතා කරන්නේ!</verse>
				<verse number="30">ඔබ සියලු දේ දන්නා බවත්, කිසිවකු ඔබෙන් ප්‍රශ්න කරන්නට වුවමනා නැති බවත් දැන් අප දන්නවා. ඔබවහන්සේ දෙවියන්වහන්සේ වෙතින් ආ වග අප විශ්වාස කරන්නේ එබැවිනැ” යි කීවෝ ය.</verse>
				<verse number="31">යේසුස්වහන්සේ, පිළිතුරු දෙමින්, “දැන් ඔබ විශ්වාස කරනවා ද?</verse>
				<verse number="32">ඔන්න, ඔබ හැම කෙනකු තම තමන්ගේ නිවෙස්වලට විසුරුවා හරිනු ලබන, ඔබ හැම මා තනිකර දමන පැය පැමිණේ; ඇත්තෙන්ම එය දැනටමත් පැමිණිලා. එහෙත් මා තනිව නො වේ; පියාණන්වහන්සේ මා සමඟයි.</verse>
				<verse number="33">“මේ සියල්ල මා ඔබට කීවේ මා තුළ ඔබට සාමය ලැබෙන පිණිසයි. මෙලොවේදී ඔබට පීඩා ඇති වෙයි. එනමුත් ධෛර්යවත් වන්න; මම ලෝකයෙන් ජය ගත්තෙමි” යි පැවසූ සේක.</verse>
			</chapter>
			<chapter number="17">
				<verse number="1">එසේ පැවසූ යේසුස්වහන්සේ ස්වර්ගය දෙස නෙත් යොමා, මෙසේ පැවසූ සේක. “පියාණෙනි, පැය පැමිණිලා. පුත්‍රයා විසින් ඔබවහන්සේ මහිමයට පමුණුවන පිණිස, ඔබගේ පුත්‍රයාණන් මහිමයට පැමි‍ණෙවුව මැනව.</verse>
				<verse number="2">මන්ද පුත්‍රයාණන්ට ඔබ දුන් සියලු දෙනාට සදාතන ජීවනය දෙන පිණිස, සකල මිනිස් වර්ගයා කෙරෙහි ඔබවහන්සේ පුත්‍රයාණන්ට ආධිපත්‍යය දුන් සේක.</verse>
				<verse number="3">සදාතන ජීවනය මෙයයි; එකම, සත්‍යම දෙවියන්වහන්සේ වන ඔබ හා ඔබ එවූ තැනැත්තාණන් වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් හැඳින ගැනීමයි.</verse>
				<verse number="4">කරන්නට ඔබ මට පැවරූ කාරිය සම්පූර්ණ කර, මම පොළොවේදී ඔබ මහිමයට පැමිණ වීමි.</verse>
				<verse number="5">එබැවින් දැන් පියාණෙනි, ලෝකය ඇතිවීමට පළමුවෙන් ඔබ සමඟ මට තිබූ තේජෝ මහිමයෙන් ඔබ ඉදිරියේ මා මහිමයට පැමි‍ණෙවුව මැනව.</verse>
				<verse number="6">“ලෝකයෙන් ඔබ මට දුන් ජනයාට මම ඔබගේ නාමය ප්‍රකාශ කළෙමි. ඔවුන් ඔබවහන්සේගේ ය. ඔබ ඔවුන් මට දුන් සේක. ඔවුහු ද ඔබගේ වචනය රක්ෂා කළෝ ය.</verse>
				<verse number="7">ඔබ මට දුන් හැම දෙයක්ම පැමිණුනේ ඔබවහන්සේ වෙතින් වග දැන් ඔවුහු දනිති.</verse>
				<verse number="8">මන්ද ඔබ මට දුන් ඔබගේ වචන මම ඔවුන්ට දුනිමි. ඒවා පිළිගත් ඔවුහු, මා ඔබ වෙතින්ම ආ වග සැබවින් ම දැන, ඔබම මා එවූ බව විශ්වාස කළෝ ය.</verse>
				<verse number="9">මම ඔවුන් උදෙසා යාච්ඤා කරමි. ලෝකයා උදෙසා යාච්ඤා නො කරමි. එනමුත් ඔබ මට දුන්නවුන් උදෙසා යාච්ඤා කරමි. මන්ද ඔවුන් ඔබවහන්සේගේ ය.</verse>
				<verse number="10">මගේ හැම දෙයක්ම ඔබගේ ය; ඔබගේ හැම දෙයක්ම මගේ ය. ඔවුන් තුළ මම මහිමයට පැමිණ සිටිමි.</verse>
				<verse number="11">තවදුරටත් මා ලෝකයේ සිටින්නේ නැත. එහෙත් මොවුහු ලෝකයේම සිටිති. මම ඔබවහන්සේ වෙත එන්නෙමි. ශුද්ධ වූ පියාණෙනි, අප ඒකත්වයක්ව සිටින්නා සේ, මොවුන් ද ඒකත්වයක් වන පිණිස, ඔබ මට දුන් ඔබගේ නාමයෙන්, ඔවුන් සුරකිනු මැනවි.</verse>
				<verse number="12">මා ඔවුන් සමඟ සිටියදී ඔබ මට දුන් නාමයෙන් මම ඔවුන් සුරැකීමි. මම ඔවුන් ආරක්ෂා කළෙමි. ශුද්ධ ලියවිල්ල ඉෂ්ට වන පිණිස, විනාශයේ පුත්‍රයා හැර, අන් කිසි කෙනකු නැති වුණේ නැත.</verse>
				<verse number="13">“මම දැන් ඔබ වෙත එන්නෙමි. එහෙත් මෙලොවේදී මා මේ දෑ පවසන්නේ, මාගේ ප්‍රීතිය ඔවුන් තුළ සම්පූර්ණ වන පිණිසයි.</verse>
				<verse number="14">මම ඔවුන්ට ඔබගේ වචනය දුනිමි. මා ලෝකයෙන් නො වන්නා සේ ම, ඔවුන් ද ලෝකයට අයිති නැති නිසා ලෝකයා ඔවුන්ට ද්වේෂ කළහ.</verse>
				<verse number="15">ලෝකයෙන් ඔවුන් ඉවත් කර ගන්නැයි මා ඔබෙන් ඉල්ලන්නේ නැත. එහෙත් නපුරාගෙන් ඔවුන් ආරක්ෂා කරන ලෙස ඉල්ලමි.</verse>
				<verse number="16">මා ලෝකයෙන් නො වන්නා සේ ම, ඔවුන් ද ලෝකයෙන් නො වේ.</verse>
				<verse number="17">සත්‍යතාවෙන් ඔවුන් පවිත්‍ර කළ මැනව; ඔබගේ වචනය සත්‍යතාවයි.</verse>
				<verse number="18">ඔබ ලෝකය තුළට මා එවූ අයුරින්, මමත් ලෝකය වෙත ඔවුන් යැවීමි.</verse>
				<verse number="19">සත්‍යතාවෙන් ඔවුන් කැප වන පිණිස මම ඔවුන් උදෙසා මා කැප කර ගනිමි.</verse>
				<verse number="20">“මොවුන් උදෙසා පමණක් නො ව, මොවුන්ගේ වචනය හේතු කොට මා තුළ විශ්වාස කරන අය ගැනත් මගේ යාච්‍ඤාව,</verse>
				<verse number="21">පියාණෙනි, ඔබ මා තුළත්, මා ඔබ තුළත් සිටින අයුරින් ඔවුන් ද ඒකත්වයක් වේවා යන්නයි; මා එවුවේ ඔබවහන්සේ බව ලෝකයා විශ්වාස කරන පිණිස, ඔවුන් ද අප තුළ වේවා යන්නයි;</verse>
				<verse number="22">අප ඒකත්වයක්ව සිටින්නා සේ ඔවුන් ද ඒකත්වයක් වන පිණිස, ඔබ මට දුන් මහිමය මා ඔවුන්ට දුන්නේ,</verse>
				<verse number="23">මා ඔවුන් තුළත්, ඔබ මා තුළත් සිටීමෙන් ඔවුන් සම්පූර්ණ ඒකත්වයට පත්වීමෙන් ඔබ මා එවූ බවත්, ඔබ, මට මෙන්ම මොවුන්ට ද ප්‍රේම කළ බවත් ලෝකයා දැනගන්නා පිණිස ය.</verse>
				<verse number="24">“පියාණෙනි, ඔබ මට දුන් මොවුන් ද මා සිටිනා තැන මා සමඟ සිටිනවාට මම ආශා වෙමි. එසේ වන්නේ ලෝකය අත්තිවාරම් ලීමට පෙර, ඔබ මට ප්‍රේම කළ බැවින්, ඔබ මට දුන් මහිමය ඔබ මට දුන් මොවුන් ද දකින පිණිස ය.</verse>
				<verse number="25">“ධර්මිෂ්ඨ පියාණෙනි, ලෝ වැසියන් ඔබ හැඳින ගත්තේ නැති නමුදු, මම ඔබ හැඳින ගත්තෙමි. ඔබ මා එවූ බව මොවුහු ද දැන ගත්හ.</verse>
				<verse number="26">ඔබගේ නාමය මම ඔවුන්ට දැනගන්නට සැලැස්වීමි. මම එය නොකඩව දැනගන්නට සලසමි. එසේ කරන්නේ ඔබ මට ප්‍රේම කළ ප්‍රේමයම මොවුන් තුළ වන පිණිසත්, මා ද මොවුන් තුළ වන පිණිසත් ය.”</verse>
			</chapter>
			<chapter number="18">
				<verse number="1">එම වචන පවසා නිම වූ පසු, යේසුස්වහන්සේ තම ගෝලයින් සමඟ කිද්‍රොන් නිම්නයෙන් එතෙරව, එහි වූ උයනට තම ගෝලයින් සමඟ ඇතුළු වූ සේක.</verse>
				<verse number="2">යේසුස්වහන්සේ නිතර තම ගෝලයින් සමඟ එහි ආ-ගිය බැවින්, උන්වහන්සේ පාවා දුන් යූදස් ද මේ ස්ථානය දැන සිටියේ ය.</verse>
				<verse number="3">එබැවින් යූදස්, හේවා කණ්ඩායමක් ද නායක පූජකයින් හා පරිසිවරුන්ගෙන් ලබාගත් නිලධාරි කණ්ඩායමක් ද සමඟ එහි ආවේ ය. ඔවුන් අත පහන්, පන්දම් හා අවි ද විය.</verse>
				<verse number="4">යේසුස්වහන්සේ එවිට තමන්ට සිදුවන්නට යන සියල්ල දැන ඉදිරියට අවුත්, “කවුරු ද ඔබ සොයන්නේ?” යි ඔවුන්ගෙන් ඇසූ සේක.</verse>
				<verse number="5">“නාසරෙත්හි යේසුස්” යැයි ඔවුහු පිළිතුරු දුන්හ. එවිට, “ඒ මම යැ” යි යේසුස්වහන්සේ ඔවුන්ට කී සේක. උන්වහන්සේ පාවා දුන් යූදස් ඔවුන් සමඟ සිටගෙන සිටියේ ය.</verse>
				<verse number="6">යේසුස්වහන්සේ, “ඒ මම යැ” යි ඔවුන්ට කී කල, ඔවුහු පස්සෙන් පස්සට ගොස්, බිම ඇද වැටුණහ.</verse>
				<verse number="7">උන්වහන්සේ නැවතත්, “කවරකු ද ඔබ සොයන්නේ?” යි ඔවුන්ගෙන් ඇසූ සේක. “නාසරෙත්හි යේසුස්” යැයි ඔවුහු කීහ.</verse>
				<verse number="8">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඒ මම ය කියා මා ඔබට කීවා; ඔබ සොයන්නේ මා නම්, මේ මිනිසුන්ට යන්න හරින්නැ” යි කී සේක.</verse>
				<verse number="9">මෙසේ වූයේ, “ඔබ මට දුන් අයගෙන් කිසිවකුත් මට නැති වූයේ නැතැ” යි උන්වහන්සේ කලින් පැවසූ වචන ඉටු වන පිණිස ය.</verse>
				<verse number="10">එවිට, තමා වෙත කඩුවක් තිබූ සීමොන් පේතෘස් එය ඇද, උත්තම පූජකයාගේ දාසයාට ගසා, ඔහුගේ දකුණු කන කපා දැමී ය. ඒ දාසයාගේ නම මල්කස් ය.</verse>
				<verse number="11">යේසුස්වහන්සේ පේතෘස් අමතා, “ඔය කඩුව කොපුවේ දමා ගන්න. පියාණන්වහන්සේ මට දී ඇති කුසලාන මම නො බොම් දැ?” යි පැවසූ සේක.</verse>
				<verse number="12">එවිට හේවායෝ ද ඔවුන්ගේ අණ දෙන්නා ද යුදෙව් නිලධාරීහු ද යේසුස්වහන්සේ අත්අඩංගුවට ගෙන, උන්වහන්සේ බැඳ දැමූහ.</verse>
				<verse number="13">පළමු කොට ඔවුහු එම වසරේ උත්තම පූජක වූ කායාපස්ගේ මාමණ්ඩිය වූ අන්නස් වෙත උන්වහන්සේ ගෙන ගියහ.</verse>
				<verse number="14">ජනතාව වෙනුවෙන් එක මිනිසකු මරණයට පත්වීම වඩා හොඳ බවට යුදෙව්වන්ට උපදෙස් දුන්නේ මෙම කායාපස් ය.</verse>
				<verse number="15">සීමොන් පේතෘස් හා තවත් ගෝලයෙක් යේසුස්වහන්සේ පසුපසින් ගියහ. එම ගෝලයා උත්තම පූජකයා හඳුනන බැවින්, යේසුස්වහන්සේ සමඟ උත්තම පූජක මැදුරු මළුවට ඇතුළු විය.</verse>
				<verse number="16">එහෙත් පේතෘස් පිටත දොරකඩ සිටගෙන සිටියේ ය. එබැවින් උත්තම පූජකයා හඳුනන එම අනෙක් ගෝලයා පිටතට පැමිණ, දොරටුව මුර කළ සේවිකාවට කතා කොට, පේතෘස් ඇතුළට ගෙනාවේ ය.</verse>
				<verse number="17">දොරටුවේ සිටි සේවිකාව පේතෘස් අමතා, “ඔබත් අර මිනිහාගේ ගෝලයෙක් නො වේ ද? එහෙම නේදැ?” යි ඇසුවා ය. පේතෘස්, “මා එයින් කෙනෙක් නො වේ” යි කීවේ ය.</verse>
				<verse number="18">ශීතල නිසා සේවකයෝ හා භටයෝ අඟුරින් ගිනි මැලයක් දල්වා ඒ වටා සිටගෙන, ගිනි තපිමින් සිටියහ. පේතෘස් ද ඔවුන් අතර සිටගෙන ගිනි තපිමින් සිටියේ ය.</verse>
				<verse number="19">ඒ අතර උත්තම පූජකයා, යේසුස්වහන්සේගේ ගෝලයින් හා ඉගැන්වීම් ගැන උන්වහන්සේගෙන් ප්‍රශ්න කළේ ය.</verse>
				<verse number="20">යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ලෝකයට මා කතා කළේ එළිපිට ය. මා හැම විට ඉගැන්නුවේ සියලු යුදෙව්වන් රැස්වන සිනගෝගවලදී හා දේව මාලිගාවේදී ය. රහසිගතව මා කිසිවක් කතා කළේ නැත.</verse>
				<verse number="21">මගෙන් අහන්නේ කුමට ද? මා ඔවුන්ට කීවේ මොනවාදැයි මට සවන් දුන් අයගෙන් අහන්න. මා කී දෑ ඔවුහු දනිති” යි කී සේක.</verse>
				<verse number="22">යේසුස්වහන්සේ එසේ කී කල, උන්වහන්සේට අතුල් පහරක් ගැසූ ළඟ සිටි භටයෙක්, “උත්තම පූජකයාට කතා කරන්නේ මෙහෙම දැ?” යි ඇසී ය.</verse>
				<verse number="23">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා කී දෑ වැරදි නම්, වරද ගැන සාක්ෂි දරන්න. එනමුත් මා කී දෑ නිවැරදි නම්, නුඹ මට පහර දෙන්නේ මන්දැ?” යි ඇසූ සේක.</verse>
				<verse number="24">එවිට අන්නස්, උන්වහන්සේ බැඳ සිටි ලෙසම උත්තම පූජක කායාපස් වෙත යැවී ය.</verse>
				<verse number="25">සීමොන් පේතෘස් ගිනි තපිමින් සිටගෙන සිටියදී, එතැන සිටි අය ඔහු අමතා, “ඔහුගේ ගෝලයන්ගෙන් කෙනෙක් නො වේ ද ඔබත්?” යයි ඇසූහ. පේතෘස් එය ප්‍රතික්ෂේප කරමින්, “මා ඔවුන්ගේ කෙනෙක් නො වේ” යි කීවේ ය.</verse>
				<verse number="26">පේතෘස් කන කපා දැමූ මිනිසාගේ නෑයකු වූ උත්තම පූජකයාගේ සේවකයෙක් පේතෘස් අමතමින්, “නුඹ ඔහු සමඟ උයනේ සිටිනු මා දුටුවා නේදැ?” යි ඇසී ය.</verse>
				<verse number="27">පේතෘස් එවර ද එය ප්‍රතික්ෂේප කළේ ය; එකෙණෙහිම කුකුළා හැඬලී ය.</verse>
				<verse number="28">ඔවුහු කායාපස්ගේ ගෘහය වෙතින් ආණ්ඩුකාර මැදුර වෙත යේසුස්වහන්සේ ගෙන ගියහ. ඒ හිමිදිරි උදයයි. පාස්කුව වැළඳීමට හැකි වන පිණිස අපවිත්‍ර නො වන්නට ඔවුහු ආණ්ඩුකාර මැදුරට ඇතුළු නො වූහ.</verse>
				<verse number="29">එබැවින් පිලාත් ඔවුන් වෙත පිටතට අවුත්, “මේ මිනිසාට විරුද්ධව ඔබ ඉදිරිපත් කරන චෝදනා මොනවා දැ?” යි ඔවුන්ගෙන් ඇසී ය.</verse>
				<verse number="30">“මේ මිනිහා අපරාධ කරන්නෙක් නො වේ නම්, ඔබතුමා වෙත අප මොහු පමුණුවන්නේ නැතැ” යි ඔවුහු පිළිතුරු දුන්හ.</verse>
				<verse number="31">එවිට පිලාත් ඔවුන්ට කතා කරමින්, “නුඹලාම මොහු ගෙන ගොස්, නුඹලාගේ දහම් නීතියට අනුව විනිශ්චය කරන්නැ” යි කීවේ ය. යුදෙව්වෝ, “කිසිවකු මරණයට පත් කරන්නට බලයක් අපට නැතැ” යි ඔහුට කීවෝ ය.</verse>
				<verse number="32">මෙසේ වූයේ තමන් මියෙන්නේ කවර ආකාර මරණයකින්දැයි පෙන්වීමට යේසුස්වහන්සේ පවසා තිබූ වචනය සැබෑ වන පිණිස ය.</verse>
				<verse number="33">එබැවින් පිලාත් යළි තම මැදුරට ඇතුල්ව, යේසුස්වහන්සේ කැඳවා, “ඔබ යුදෙව්වන්ගේ රජ දැ?” යි ඇසී ය.</verse>
				<verse number="34">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ එය පවසන්නේ ඔබේම අදහසක් හැටියට ද? නැතිනම් අන් අය මා ගැන ඔබට කී දෙයක් දැ?” යි ඇසූ සේක.</verse>
				<verse number="35">පිලාත් පිළිතුරු දෙමින්, “කිම ද? මා යුදෙව්වෙක් ද? මට ඔබ බාර දුන්නේ ඔබේම ජාතිය හා නායක පූජකයොයි. මොනවද ඔබ කළේ?” යි ඇසී ය.</verse>
				<verse number="36">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මගේ රාජ්‍යය මෙලොවෙන් නො වෙයි. මගේ රාජ්‍යය මෙලොවෙන් වූවා නම්, මා අත්අඩංගුවට ගන්නට යුදෙව්වන්ට ඉඩ නො දී මගේ සේවකයින් සටන් වදින්නට තිබුණි. එනමුත් දැන් මාගේ රාජ්‍යය මේ ලෝකයෙන් නො වේ යැ” යි කී සේක.</verse>
				<verse number="37">“එහෙනම් ඔබ රජ කෙනෙක්!” යැයි පිලාත් කීවේ ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා රජ කෙනෙකැයි ඔබම කියයි. මා ඉපදුනේ මේ අරමුණටයි; මා මෙලොවට ආවේත් මේ අරමුණටයි; සත්‍යයට සාක්ෂි දරන්නටයි. සත්‍යයෙන් වූ හැම කෙනෙක්ම මට සවන් දෙන්නේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="38">“මොකක් ද සත්‍ය යැ?” යි පිලාත් ඇසී ය. ඔහු යළිත් යුදෙව්වන් වෙත පිටතට ගොස් ඔවුන් අමතා, “මොහු අත කිසි වරදක් මට නො පෙනේ.</verse>
				<verse number="39">එනමුත් පාස්කු මංගල්‍යයේදී මා ඔබට එක් සිරකරුවකු නිදහස් කරදෙන සිරිතක් ඔබට තිබේ. යුදෙව්වන්ගේ රජ මා ඔබට නිදහස් කර දෙනවාට ඔබ කැමති දැ?” යි ඇසී ය.</verse>
				<verse number="40">“මේ මිනිසා නො වේ; අපට බරබ්බස් දෙන්නැ” යි ඔවුහු යළිත් ඝෝෂා කරන්නට වන්හ. ඒ බරබ්බස් මංකොල්ලකරුවෙකි.</verse>
			</chapter>
			<chapter number="19">
				<verse number="1">එවිට පිලාත්, යේසුස්වහන්සේට කසයෙන් තැලෙව්වේ ය.</verse>
				<verse number="2">හේවායෝ කටු ඔටුන්නක් ගොතා, උන්වහන්සේගේ හිස මත තබා, දම් පැහැති ලෝගුවක් හඳවා,</verse>
				<verse number="3">“යුදෙව් රජු දිනේවා!” යි කියමින්, උන්වහන්සේ වෙත පැමිණ, අත්වලින් උන්වහන්සේට පහර දුන්හ.</verse>
				<verse number="4">යළි පිටතට පැමිණි පිලාත් යුදෙව්වන් අමතා, “මෙන්න, මොහු අත කිසි වරදක් මට නො පෙනෙන වග නුඹලා දැනගන්න පිණිස, මා දැන් ඔහු පිටතට ගෙනෙනවා” යි කීවේ ය.</verse>
				<verse number="5">එවිට කටු ඔටුන්න හා දම් පැහැ ලෝගුව සහිතව පිටතට ආ යේසුස්වහන්සේ පෙන්වූ පිලාත්, “මෙන්න, ඒ මනුෂ්‍යයා!” යි කීවේ ය.</verse>
				<verse number="6">නායක පූජකයෝ හා ඔවුන්ගේ භටයෝ උන්වහන්සේ දුටු ඇසිල්ලේ, “ඔහු කුරුසියේ ඇණ ගසනු! කුරුසියේ ඇණ ගසනු!” යි කෑ ගැසූහ. පිලාත් ඔවුන් අමතා, “නුඹලාම ඔහු ගෙන ගොස්, ඇණ ගසාපල්ලා. මොකද, ඔහු තුළ කිසි වරදක් මට හමු වුණේ නැතැ” යි කීවේ ය.</verse>
				<verse number="7">යුදෙව්වෝ ඔහුට පිළිතුරු දෙමින්, “අපටත් නීතියක් තියෙනවා. ඒ නීතියේ හැටියට මොහු මරා දැමිය යුතුයි; මොකද, ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයා යයි කියා ගත්තා යැ” යි කීවෝ ය.</verse>
				<verse number="8">ඒ කියමන ඇසූ කල, පිලාත් වඩාත් බයට පත් විය.</verse>
				<verse number="9">ඔහු යළිත් තම මැදුර තුළට පිවිස, යේසුස්වහන්සේ අමතා, “ඔබ කොහෙන් පැමිණියේ දැ?” යි ඇසී ය. එහෙත් යේසුස්වහන්සේ ඔහුට උත්තර නො දුන් සේක.</verse>
				<verse number="10">පිලාත් උන්වහන්සේ අමතමින්, “මට ඔබ උත්තර දෙන්නේ නැද්ද? ඔබ නිදහස් කරන්නටත්, කුරුසිපත් කරන්නටත් මට බලය තිබෙන බව දන්නේ නැද්දැ?” යි ඇසී ය.</verse>
				<verse number="11">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඉහළින් ඔබට අනුමැතිය දුන්නොත් මිස, මා කෙරේ ඔබට කිසි බලයක් නැත. එබැවින් ඔබ අතට මා පාවා දුන් තැනැත්තාගේ පාපය වඩාත් බරපතළ යැ” යි කී සේක.</verse>
				<verse number="12">එතැන් පටන් පිලාත් උන්වහන්සේ නිදහස් කරන්නට සෙවී ය. එහෙත් යුදෙව්වෝ කෑ මොර ගසමින්, “ඔබ මේ මිනිහා නිදහස් කළොත්, ඔබ සීසර්ගේ මිත්‍රයෙක් නො වේ. තමන් රජෙකැයි කියා ගන්නා හැම කෙනෙක්ම සීසර්ට විරුද්ධ යැ” යි කීහ.</verse>
				<verse number="13">ඒ වචන ඇසූ පිලාත්, යේසුස්වහන්සේ පිටතට ගෙනැවිත්, (හෙබ්‍රෙව් බසින් ගබ්බතා නම් වූ) ගල් වේදිකාව නම් ස්ථානයේ වූ විනිශ්චය ආසනයේ හිඳ ගත්තේ ය.</verse>
				<verse number="14">ඒ, පාස්කුවට පෙර සූදානම් වීමේ දවසේ මද්දහන වූ හයවන පැයයි. පිලාත් යුදෙව්වන් අමතා, “මෙන්න! ඔබේ රජ්ජුරුවෝ” යි කීවේ ය.</verse>
				<verse number="15">“ඔහු මරා දමනු! මරා දමනු! ඔහු කුරුසියේ ඇණ ගසනු!” යි ඔවුහු මොරගැසූහ. එවිට පිලාත් “ඔබේ රජ කුරුසියේ ඇණ ගසන්න දැ!” යි ඔවුන්ගෙන් ඇසී ය. නායක පූජකයෝ පිළිතුරු දෙමින්, “සීසර් හැර වෙනත් රජෙක් අපට නැතැ” යි කීහ.</verse>
				<verse number="16">එබැවින් ඔහු කුරුසියේ ඇණ ගසනු ලබන පිණිස ඔවුන් අතට උන්වහන්සේ බාර දුන්නේ ය. ඔවුහු යේසුස්වහන්සේ බාර ගත්හ.</verse>
				<verse number="17">උන්වහන්සේ තම කුරුසිය උසුලාගෙන, හෙබ්‍රෙව් බසින් ගොල්ගොතා නමින් හැඳින්වෙන හිස්කබල නම් ස්ථානය වෙත ගිය සේක.</verse>
				<verse number="18">එහිදී ඔවුහු උන්වහන්සේ කුරුසියේ ඇණ ගැසූහ. උන්වහන්සේ මැදිව සිටින සේ තවත් දෙදෙනකු යේසුස්වහන්සේ දෙපසින් ඇණ ගැසුම් ලදහ.</verse>
				<verse number="19">පිලාත් නාම පුවරුවක් ලියවා, එය කුරුසිය මත තැබී ය. එය මෙසේ ය: නාසරෙත්හි යේසුස්, යුදෙව්වන්ගේ රජු.</verse>
				<verse number="20">යේසුස්වහන්සේ කුරුසිපත් කරන ලද ස්ථානය නගරාසන්නයේ වූ බැවින් හා එය හෙබ්‍රෙව්, ලතින් හා ග්‍රීක් යන තෙබසින්ම ලියා තිබූ බැවින් එම නාම පුවරුව යුදෙව්වන් බොහෝ දෙනෙක් කියවූහ.</verse>
				<verse number="21">එබැවින් යුදෙව්වන්ගේ නායක පූජකයෝ පිලාත් අමතා, “යුදෙව්වන්ගේ රජු ය යනුවෙන් නො ලියා, ‘යුදෙව් රජ මම ය කියා මේ මිනිසා කියා ගත්තේ ය’ යනුවෙන් ලියන්නැ” යි ඉල්ලූහ.</verse>
				<verse number="22">පිලාත් ඊට පිළිතුරු දෙමින්, “මා ලියූ දේ ලියුවාම යැ” යි කීවේ ය.</verse>
				<verse number="23">යේසුස්වහන්සේ කුරුසියේ ඇණ ගැසූ පසු හේවායෝ, උන්වහන්සේගේ පිට ඇඳුම් ගෙන, එක් කෙනකුට කොටසක් වශයෙන් සතර කොටසකට බෙදා ගත්හ. ඔවුහු උන්වහන්සේගේ කබාය ද ගත්හ. එම කබාය ඉහළ සිට පහළට මුළුමනින් එකම කඩක්ව වියන ලද්දකි.</verse>
				<verse number="24">එබැවින් ඔවුහු එකිනෙකා අමතමින්, “අපි මෙය ඉරන්නේ නැතිව කාට එය වැටේදැයි බලන්න දාදු දමමු” යි කීහ. එසේ වූයේ, “ඔවුහු මගේ වස්ත්‍ර තමන් අතරේ බෙදාගෙන, මගේ කබාය සඳහා දාදු දැමූහ” යි ලියවුණු ශුද්ධ ලියවිල්ල ඉෂ්ට වන පිණිස ය. හමුදා භටයන් කළේ ද එයම ය.</verse>
				<verse number="25">යේසුස්වහන්සේගේ මෑණියෝ, උන්වහන්සේගේ මෑණියන්ගේ සහෝදරිය, ක්ලෝපාස්ගේ භාර්යාව වූ මරියා හා මග්දලාහි මරියා යේසුස්වහන්සේගේ කුරුසිය ළඟ සිටගෙන වුන්හ.</verse>
				<verse number="26">තම මෑණියන් ද තමන් ප්‍රේම කළ ගෝලයා ද තමන් අසල සිටිනු දුටු යේසුස්වහන්සේ මෑණියන් අමතා, “ස්ත්‍රිය, මෙන්න ඔබේ පුත්‍රයා යැ” යි පවසා,</verse>
				<verse number="27">එම ගෝලයා දෙසට හැරී, “මෙන්න ඔබේ මෑණියන්” යි කී සේක. ඒ පැයේ පටන් එම ගෝලයා තම නිවසට ඇය පිළිගත්තේ ය.</verse>
				<verse number="28">පසුව, යේසුස්වහන්සේ දැන් සියල්ල සම්පූර්ණව ඇති බැව් දැන, ශුද්ධ ලියවිල්ල ඉටු වන පිණිස, “මට පිපාසයි” කී සේක.</verse>
				<verse number="29">මිදි යුෂ විනාකිරි බඳුනක් එහි තිබිණි. එබැවින් ඔවුහු මූදු හත්තක් එහි පොඟවා, හිසොප් දණ්ඩක එය අමුණා, උන්වහන්සේගේ මුවට ළං කළහ.</verse>
				<verse number="30">යේසුස්වහන්සේ එය දිව ගෑ පසු, “එය නිම වියැ” යි පවසමින් හිස පහත හෙළා, තම ආත්මය අත්හළ සේක.</verse>
				<verse number="31">එය සූදානම් වීමේ දවස බැවින්, සබතේදී මළසිරුරු කුරුසවල නො තිබෙන පිණිස, ඔවුන්ගේ කකුල් කඩා, ඔවුන් ඉවත් කරවන ලෙස යුදෙව්වෝ පිලාත්ගෙන් ඉල්ලා සිටියහ. මන්ද ඒ දවස විශේෂ සබතක් විය.</verse>
				<verse number="32">එබැවින් හේවායෝ පැමිණ, යේසුස්වහන්සේ සමඟ ඇණ ගසන ලද පළමුවැන්නාගේ ද අනතුරුව අනෙකාගේ ද කකුල් කැඩූහ.</verse>
				<verse number="33">එහෙත් ඔවුහු යේසුස්වහන්සේ වෙත ආ කල, උන්වහන්සේ ඒ වන විටත් මිය ගොස් සිටි වග දැක, උන්වහන්සේගේ කකුල් නො කැඩූහ.</verse>
				<verse number="34">එසේ වුවත් හේවායින්ගෙන් කෙනෙක් හෙල්ලයකින් උන්වහන්සේගේ ඇලයට ඇන්නේ ය. එසැණේම ලේත්, වතුරත් එතැනින් ගලා ආවේ ය.</verse>
				<verse number="35">එය දුටු තැනැත්තා ඒ ගැන සාක්ෂි දරයි. ඒ සාක්ෂිය සත්‍යය ය. තමා පවසන්නේ සත්‍යය බව ඔහු දනී. එබැවින් ඔබත් විශ්වාස කරන පිණිස ඔහු සාක්ෂි දරයි.</verse>
				<verse number="36">මේ දේවල් සිදු වූයේ, “උන්වහන්සේගේ එක ඇටයකුදු බිඳිනු නො ලැබේ” යන ශුද්ධ ලියවිලි පාඨය ඉෂ්ට වන පිණිස ය.</verse>
				<verse number="37">තවද, “ඔවුන් ඇන, සිදුරු කළ තැනැත්තා දෙස ඔවුන් බලනු ඇතැ” යි තවත් ශුද්ධ ලියවිලි පාඨයකින් කියැවේ.</verse>
				<verse number="38">යුදෙව්වන්ට වූ බය නිසා රහසේ යේසුස්වහන්සේගේ ගෝලයකු ව සිටි අරමාතියේ යෝසෙප් මේ දේවලට පසු, පිලාත් වෙත ගොස්, යේසුස්වහන්සේගේ දේහය ගෙන යන්නට අවසර ඉල්ලී ය. පිලාත් ඊට අවසර දුන්නෙන්, ඔහු පැමිණ උන්වහන්සේගේ දේහය ගෙන ගියේ ය.</verse>
				<verse number="39">ඉහත එක් රැයෙක යේසුස්වහන්සේ වෙත පැමිණි නිකදේමුස් ද සුවඳ ද්‍රව්‍ය හා අගිල් කිලෝග්‍රෑම් තිහක් පමණ රැගෙන ආයේ ය.</verse>
				<verse number="40">ඔවුහු යුදෙව්වන්ගේ භූමදාන චාරිත්‍ර ලෙස සුවඳ ද්‍රව්‍ය සමඟ සිහින් හණ රෙදිවලින් යේසුස්වහන්සේගේ දේහය ඔතා සූදානම් කළහ.</verse>
				<verse number="41">යේසුස්වහන්සේ කුරුසිපත් කළ ස්ථානය අසල උයනක් තිබිණි. ඒ උයනේ එතෙක් කිසිවකු තැන්පත් නො කරන ලද අලුත් සොහොන් ලෙනක් තිබිණි.</verse>
				<verse number="42">එය යුදෙව්වන්ගේ සූදානම් වීමේ දවස බැවින් ද සොහොන් ගෙය අත නුදුරින් ම වූ බැවින් ද ඔවුහු යේසුස්වහන්සේ එහි තැන්පත් කළහ.</verse>
			</chapter>
			<chapter number="20">
				<verse number="1">සතියේ පළමු දින හිමිදිරි උදයේ මද අඳුරේ සොහොන වෙත පැමිණි මග්දලාහි මරියා සොහොන් ලෙනේ ගල ඉවත් කර තිබෙනු දුටුවා ය.</verse>
				<verse number="2">එබැවින් ඈ සීමොන් පේතෘස් ද යේසුස්වහන්සේ ප්‍රේම කළ අනෙක් ගෝලයා ද වෙත දුව ගොස්, “ඔවුන් ස්වාමින්වහන්සේ සොහොන වෙතින් අරන් ගිහිල්ලා; ඔවුන් කොහේ උන්වහන්සේ තැබුවා ද කියා අප දන්නේ නැහැ” යි කීවා ය.</verse>
				<verse number="3">එවිට පේතෘස්, අනෙක් ගෝලයා ද සමඟ පිටත්ව, සොහොන් ගේ දෙසට ගියහ.</verse>
				<verse number="4">දෙදෙනාම එක්ව දිවූහ. එහෙත් අනෙක් ගෝලයා පේතෘස් පසුකර ගොස්, සොහොන වෙත මුලින්ම ළඟා විය,</verse>
				<verse number="5">ලෙන තුළට එබී බලා, එහි වූ හණ වෙළුම් පටි දුටු නමුත්, ඔහු ඇතුළට ගියේ නැත.</verse>
				<verse number="6">ඔහුට පිටුපසින් පැමිණි සීමොන් පේතෘස් සොහොනට ඇතුල්ව, එහි වූ හණ වෙළුම් පටි ද</verse>
				<verse number="7">යේසුස්වහන්සේගේ හිස දවටා තිබූ රෙදි කඩ ද දුටුවේ ය. එම රෙදි කඩ හණ රෙදි සමඟ නො ව, වෙනම නවා, අන් තැනක තබා තිබිණ.</verse>
				<verse number="8">එකල සොහොන වෙත පළමුව ආ ගෝලයා ද ඇතුල්ව, දැක විශ්වාස කළේ ය.</verse>
				<verse number="9">උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටිය යුතු බවට වූ ශුද්ධ ලියවිල්ල ඒ වන තුරුත් ඔවුන් වටහා ගෙන සිටියේ නැත.</verse>
				<verse number="10">අනතුරුව ගෝලයෝ තම ගෙවලට ගියහ.</verse>
				<verse number="11">එහෙත් මරියා සොහොන් ලෙන පිටත සිට හඬමින්, හඬන ගමන් සොහොන තුළට එබී බැලුවා ය.</verse>
				<verse number="12">එවිට සුදු වතින් සැරසුණු දේව දූතයින් දෙදෙනකු, කෙනකු යේසුස්වහන්සේගේ දේහයේ හිස තිබූ තැන ද කෙනකු පාද තිබූ තැන ද හිඳ සිටිනු දුටුවා ය.</verse>
				<verse number="13">ඔවුහු ඇය අමතමින්, “ළඳුනි, ඔබ හඬන්නේ ඇයි දැ?” යි ඇසූහ. මරියා පිළිතුරු දෙමින්, “ඔවුන් මගේ ස්වාමින්වහන්සේ ගෙන ගොහින්; ඔවුන් කොහේ උන්වහන්සේ තැබුවාදැයි මා දන්නේ නෑ” යි කීවා ය.</verse>
				<verse number="14">මෙසේ කියා ආපසු හැරුණු ඈ යේසුස්වහන්සේ එතැන සිටගෙන සිටිනු දුටුවා ය. එහෙත් ඒ යේසුස්වහන්සේ වග ඈ නො දත්තී ය.</verse>
				<verse number="15">යේසුස්වහන්සේ ඇය අමතා, “ළඳුනි, ඇයි ඔබ හඬන්නේ? කවරකු ද ඔබ සොයන්නේ?” යි ඇසූ සේක. ඒ උයන්පල්ලා යැයි සිතූ ඕ, උන්වහන්සේ අමතා, “මහත්මයා, උන්වහන්සේ ඉවත ගෙන ගියේ ඔබ නම්, ඔබ උන්වහන්සේ තැබුවේ කොතැනකදැයි මට කියන්න. මා උන්වහන්සේ ගෙන යන්නම්” කීවා ය.</verse>
				<verse number="16">එවිට යේසුස්වහන්සේ, “මරියා!” යි ඇය ඇමතූ සේක. එදෙස හැරුණු මරියා, “රබ්බෝනි!” යි උන්වහන්සේට කීවා ය. (හෙබ්‍රෙව් බසින් රබ්බෝනි, ගුරුතුමනි යනුයි.)</verse>
				<verse number="17">යේසුස්වහන්සේ ඇයට කතා කොට, “මා තවමත් පියාණන්වහන්සේ වෙත නො නැංග නිසා, මට අත නො තබන්න. එනමුත් මගේ සහෝදරයින් වෙත ගොස්, ‘මම, මගේ පියාණන්වහන්සේ හා ඔබේ පියාණන්වහන්සේ වෙත, මගේ දෙවියන්වහන්සේ හා ඔබේ දෙවියන්වහන්සේ වෙත නැඟෙන්නෙමි’ යි කී වග ඔවුන්ට කියන්නැ” යි කී සේක.</verse>
				<verse number="18">එවිට මග්දලායේ මරියා, ගෝලයන් වෙත ගොස්, “මා ස්වාමින්වහන්සේ දැක්කා” යි පවසා, උන්වහන්සේ ඒ දෑ ඇයට කී වග ඔවුන්ට දැන්වූවා ය.</verse>
				<verse number="19">සතියේ පළමු දින වූ එදින සවස ගෝලයෝ, යුදෙව්වනට බයින් දොරගුළු ලා ගෙන සිටියදී, යේසුස්වහන්සේ ඔවුන් මැද සිටගෙන, “ඔබට සාමය වේවා!” යි ඔවුන්ට කී සේක.</verse>
				<verse number="20">එසේ පැවසූ උන්වහන්සේ තම අත් හා ඇලය ඔවුන්ට පෙන්වූ සේක. ස්වාමින්වහන්සේ දුටු ගෝලයෝ ප්‍රීතියෙන් ඉපිල ගියෝ ය.</verse>
				<verse number="21">නැවතත්, “සාමය ඔබ සමඟ වේවා!” යි පැවසූ යේසුස්වහන්සේ, “පියාණන්වහන්සේ මා එවූ ලෙසම මමත් ඔබ යවන්නෙමි” යි පැවසූ සේක.</verse>
				<verse number="22">එසේ පැවසූ උන්වහන්සේ ඔවුන් පිට හුස්ම හෙළා, “ශුද්ධාත්මයාණන් පිළිගන්න;</verse>
				<verse number="23">ඔබ යම් කෙනකුගේ පාප කමා කරන්නේ ද, ඔවුන්ට කමා කරනු ලබන්නේ ය; ඔබ යම් කෙනකුට කමා නො කරන්නේ ද, ඒවා කමා කරනු නො ලබන්නේ යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="24">යේසුස්වහන්සේ තම ගෝලයින් වෙත ආ කල, දොළොස් දෙනාගෙන් කෙනකු වූ දිදිමුස් නමින් හැඳින්වුණු තෝමස් ඔවුන් සමඟ සිටියේ නැත.</verse>
				<verse number="25">එබැවින් සෙසු ගෝලයෝ, “අපි ස්වාමින්වහන්සේ දැක්කා” යි කීහ. ඔහු තම අදහස් දක්වමින්, “උන්වහන්සේගේ අත්වල ඇණ කැළැල් දැක, උන්වහන්සේගේ ඇණ සිදුරුවල මගේ ඇඟිල්ල දමා, උන්වහන්සේගේ ඇලයේ මගේ අත දැමුවොත් මිස, මා කිසි සේත් විශ්වාස කරන්නේ නැතැ” යි පැවසී ය.</verse>
				<verse number="26">අට දිනකට පසු ගෝලයෝ නැවතත් ගෙතුළට වී සිටියහ. මෙවර තෝමස් ද ඔවුන් අතර විය. දොරගුළු ලා තිබූ නමුත් යේසුස්වහන්සේ අවුත්, ඔවුන් මැද සිටගෙන, “සාමය ඔබ සමඟ වේවා!” යි පැවසූ සේක.</verse>
				<verse number="27">ඉන්පසු තෝමස් ඇමතූ උන්වහන්සේ, “ඔබේ ඇඟිල්ල මෙහි බහා මගේ අත් දිහා බලන්න. ඔබේ අත දිගු කර මගේ ඇලයෙහි තබන්න. අවිශ්වාස නො කර විශ්වාස කරන්නැ” යි කී සේක.</verse>
				<verse number="28">එවිට තෝමස්, “මාගේ ස්වාමින්වහන්ස, මාගේ දෙවියන්වහන්ස!” යි උන්වහන්සේ ඇමතුවේ ය.</verse>
				<verse number="29">යේසුස්වහන්සේ ඔහු අමතමින්, “ඔබ විශ්වාස කළේ මා දුටු නිසයි; එහෙත් නුදුටු නමුත් විශ්වාස කරන්නෝ ආශිර්වාද ලද්දෝයැ” යි පැවසූ සේක.</verse>
				<verse number="30">මේ පොතේ නො ලියවුණු තවත් බොහෝ අනුහස් ලකුණු යේසුස්වහන්සේ තම ගෝලයින් ඉදිරියේ සිදු කළ සේක.</verse>
				<verse number="31">එනමුත් මේ දෑ ලියන ලද්දේ, යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේම වග, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වග ඔබ විශ්වාස කරන පිණිසත්, එසේ විශ්වාස කිරීමෙන් උන්වහන්සේගේ නාමය තුළ ජීවනය අත්කර ගන්නා පිණිසත් ය.</verse>
			</chapter>
			<chapter number="21">
				<verse number="1">මෙයින් පසු යේසුස්වහන්සේ තිබේරියස් මුහුද අද්දරදී තම ගෝලයින්ට නැවත පෙනුණු සේක. උන්වහන්සේ පෙනෙන්නට වූයේ මෙලෙස ය.</verse>
				<verse number="2">සීමොන් පේතෘස් ද දිදිමුස් නම් තෝමස් ද ගලීලයේ කානාහි නතානියෙල් ද සෙබදීගේ පුත්‍රයින් ද තවත් ගෝලයින් දෙදෙනෙක් ද එක්ව සිටියදී,</verse>
				<verse number="3">සීමොන් පේතෘස් ඔවුන් අමතා, “මා මසුන් අල්ලන්නට යනවා” යි කීවේ ය. “අපත් ඔබ සමඟ එනවා” යි ඔවුහු ද ඔහුට කීහ. එබැවින් ඔවුහු පිටත්ව, ඔරුවක නැඟුණහ. එහෙත්, ඒ රැයේ ඔවුන් ඇල්ලූ කිසිවක් නැත.</verse>
				<verse number="4">දවස උදා වෙත්ම යේසුස්වහන්සේ වෙරළේ සිටි සේක. එහෙත් ඒ යේසුස්වහන්සේ වග ගෝලයින් හැඳින ගත්තේ නැත.</verse>
				<verse number="5">යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “දරුවනි, ඔබ ළඟ මසුන් තියෙනවා දැ?” යි ඇසූ සේක. “නැතැ” යි ඔවුහු පිළිතුරු දුන්හ.</verse>
				<verse number="6">“ඔරුවේ දකුණු පැත්තෙන් දැල් දමන්න. එවිට හසු වේවි” යි උන්වහන්සේ ඔවුන්ට කී සේක. ඔවුහු එසේ දැල් හෙළූහ. එවිට දැල ඇදගන්නට බැරි තරමට මසුන් තොගයක්ම හසු විය.</verse>
				<verse number="7">එවිට යේසුස්වහන්සේ ප්‍රේම කළ ගෝලයා පේතෘස්ට කතා කොට, “ඒ ස්වාමින්වහන්සේ යැ” යි කීවේ ය. ඒ ස්වාමින්වහන්සේ වග ඇසූ සීමොන් පේතෘස්, වැඩට ගලවා දමා තිබූ කබාය වහා හැඳ දියට පැන්නේ ය.</verse>
				<verse number="8">අනෙක් ගෝලයෝ සිටියේ වෙරළට රියන් දෙසියයක් පමණ නුදුරින් බැවින්, මසුන්ගෙන් යුත් දැල ද ඇදගෙන ඔරුවෙන්ම ආහ.</verse>
				<verse number="9">ගොඩට ආ කල, දැවෙමින් තිබූ අඟුරු මත මසුන් ද රොටි ද තිබෙනු ඔවුහු දුටුවහ.</verse>
				<verse number="10">යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ දැන් ඇල්ලූ මාළු ටිකකුත් ගෙනෙන්නැ” යි කී සේක.</verse>
				<verse number="11">සීමොන් පේතෘස් ඔරුවට ගොඩ වී, දැල ගොඩට ඇද්දේ ය. ලොකු මසුන් එකසිය පනස්තුන් දෙනකුම හසුව සිටිය ද දැල ඉරී තිබුණේ නැත.</verse>
				<verse number="12">“එන්න, ඇවිත් කන්නැ” යි යේසුස්වහන්සේ ඔවුන්ට ඇරියුම් කළ සේක. “ඔබ කවුරු දැ?” යි උන්වහන්සේගෙන් අහන්නට එක් ගෝලයකුටවත් ධෛර්යය තිබුණේ නැත. ඒ ස්වාමින්වහන්සේ වග ඔවුහු දැන සිටියහ.</verse>
				<verse number="13">යේසුස්වහන්සේ පැමිණ, රොටි ගෙන, ඔවුනට බෙදා දුන් සේක; මාළු ද දුන් සේක.</verse>
				<verse number="14">යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටි පසු, තම ගෝලයනට පෙනුණු තුන් වන අවස්ථාව මෙය ය.</verse>
				<verse number="15">ඔවුන් ආහාර ගත් පසු, සීමොන් පේතෘස් ඇමතූ යේසුස්වහන්සේ, “සීමොන්, යොහන්ගේ පුත්‍රය, මේ අයට වඩා ඔබ මට ප්‍රේම කරනවා දැ?” යි ඇසූ සේක. ඔහු පිළිතුරු දෙමින්, “එහෙමයි ස්වාමිනි, මා ඔබට ප්‍රේම කරන වග ඔබ දන්නවා” යි උන්වහන්සේට කීවේ ය. “මගේ බැටළු පැටවුන් පෝෂ්‍ය කරන්නැ” යි උන්වහන්සේ ඔහුට පැවසූ සේක.</verse>
				<verse number="16">උන්වහන්සේ දෙවන වරටත් ඔහු අමතා, “සීමොන්, යොහන්ගේ පුත්‍රය, ඔබ මට ප්‍රේම කරනවා දැ?” යි ඇසූ සේක. ඔහු ද පිළිතුරු දෙමින්, “එහෙමයි ස්වාමිනි, මා ඔබට ප්‍රේම කරන වග ඔබ දන්නවා” යි උන්වහන්සේට කීවේ ය. “මාගේ බැටළුවන් රැක බලා ගන්නැ” යි උන්වහන්සේ ඔහුට පැවසූ සේක.</verse>
				<verse number="17">උන්වහන්සේ තුන් වන වරටත්, “සීමොන්, යොහන්ගේ පුත්‍රය, ඔබ මට ආදරේ දැ?” යි ඔහුගෙන් ඇසූ සේක. උන්වහන්සේ තුන් වන වරටත්, “ඔබ මට ආදරේ කරනවා දැ?” යි ඇසූ බැවින් පේතෘස්ගේ සිත රිදිණි. ඔහු උන්වහන්සේ අමතා, “ස්වාමිනි, ඔබතුමා හැම දෙයක්ම දනී; මා ඔබට ආදරේ කරන වග ඔබතුමා දන්නවා” යි කීවේ ය. යේසුස්වහන්සේ ඔහුට කතා කොට, “මාගේ බැටළුවන් පෝෂ්‍ය කරන්න.</verse>
				<verse number="18">සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, තරුණ කාලේ ඔබ ඉඟටිය බැඳ, ඔබ කැමති තැන්හි ඇවිද්දා; එනමුත් මහලු විය පැමිණි කල, ඔබ ඔබේ අත් දිගු කරනු ඇත. එවිට වෙනත් කෙනෙක් ඔබ හඳවා, ඔබ අකමැති තැනකට ඔබ ගෙන යනු ඇතැ” යි කී සේක.</verse>
				<verse number="19">උන්වහන්සේ එසේ කීවේ, කෙබඳු ආකාරයේ මරණයකින් ඔහු දෙවියන්වහන්සේ ගෞරවයට පමුණුවනවාදැයි පෙන්වා දීමට ය. එසේ කී පසු උන්වහන්සේ, “මා අනුගමන කරන්නැ” යි ඔහුට කී සේක.</verse>
				<verse number="20">පේතෘස් ආපසු හැරී බැලූ කල, යේසුස්වහන්සේ ප්‍රේම කළ ගෝලයා ඔවුන් පසුපසින් එනවා දැක්කේ ය. (රාත්‍රි භෝජනයේදී උන්වහන්සේගේ ළයට ළංව හේත්තු වී, “ස්වාමිනි ඔබ පාවා දෙනු ලබන්නේ කවරකු විසින් දැ?” යි ඇසුවේ මොහු ය).</verse>
				<verse number="21">පේතෘස් ඔහු දුටු කල යේසුස්වහන්සේ අමතා, “ස්වාමිනි, මේ මිනිසා ගැන කෙසේ දැ?” යි ඇසී ය.</verse>
				<verse number="22">යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා එන තුරු ඔහු හිඳීම මගේ කැමැත්ත නම්, ඒ ගැන ඔබට මොකද? ඔබ මා අනුගමන කරන්නැ” යි කී සේක.</verse>
				<verse number="23">ඒ කීම නිසා ඒ ගෝලයා නොමැරෙන්නේ ය යන රාවයක් සහෝදරයන් අතර පතළව ගියේ ය. එහෙත් ඔහු මැරෙන්නේ නැතැයි යේසුස්වහන්සේ කීවේ නැත. කීවේ, “මා එන තුරු ඔහු හිඳීම මගේ කැමැත්ත නම්, ඒ ගැන ඔබට මොකද?” කියා ය.</verse>
				<verse number="24">මේ දෑ ලියා, මේ දෑ ගැන සාක්ෂි දෙන ගෝලයා ඔහු ය. ඔහුගේ සාක්ෂිය සත්‍යය බව අපි දනිමු.</verse>
				<verse number="25">යේසුස්වහන්සේ කළ තවත් බොහෝ දේ වෙයි. ඒවා එකින් එක ලියන ලද්දේ නම්, එසේ ලියනු ලබන පොත් දරන්නට මුළු ලෝකයම වුවත් මදි යයි මට සිතේ.</verse>
			</chapter>
		</book>
		<book number="44">
			<chapter number="1">
				<verse number="1">තියෝපිලස් මැතිතුමනි, මගේ පළමු ලියවිල්ලේ මා ලියුවේ, යේසුස්වහන්සේ සිදු කළ හා ඉගැන්වූ සියල්ල වූ උන්වහන්සේ සේවය ඇරඹූ දා පටන්,</verse>
				<verse number="2">ස්වර්ගයට ඔසවා ගනු ලැබූ දවස දක්වා සිදුවීම් ය. ඔසවා ගනු ලැබීමට පෙර, උන්වහන්සේ තමන් තෝරාගත් අපෝස්තුලුවරුනට ශුද්ධාත්මයාණන්වහන්සේ මඟින් අණ දුන් සේක.</verse>
				<verse number="3">තම වධ විඳීමෙන් පසු, තමන්ම ඔවුන්ට ප්‍රකාශ වෙමින් තමන් ජීවත්ව සිටින බවට නිසැක සාක්ෂි රාශියක් උන්වහන්සේ දැක්වූ සේක. උන්වහන්සේ හතළිස් දවසක් අතරතුර ඔවුන් හමුවට එමින්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳව ඔවුන්ට කතා කළ සේක.</verse>
				<verse number="4">උන්වහන්සේ ඔවුන් සමඟ සිටියදී, ඔවුන්ට නියෝග කරමින්, “යෙරුසලමෙන් ඉවත්ව නො ගොස්, කලින් ඔබ මගෙන් ඇසූ පරිදි, පියාණන්වහන්සේගේ පොරොන්දුව ගැන බලා සිටින්න.</verse>
				<verse number="5">මන්ද යොහන් මිනිසුන් බව්තීස්ම කළේ වතුරිනි. එහෙත් මෙතැන් සිට තව නොබෝ දිනකින් ශුද්ධාත්මයාණන්ගෙන් ඔබ බව්තීස්ම ලබනු ඇතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="6">මෙසේ ඔවුන් එක්රැස් වූ විටෙක ඔවුහු, “ස්වාමිනි, ඔබ ඉශ්‍රායෙල්ට රාජ්‍යය නැවත පිහිටු වන කාලය මෙය දැ?” යි උන්වහන්සේගෙන් ඇසූහ.</verse>
				<verse number="7">උන්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “පියාණන්වහන්සේ ස්වකීය ආධිපත්‍යයෙන් නියම කළ කාල හා වකවානු ඔබේ දැනගැනීම පිණිස නො වේ.</verse>
				<verse number="8">එහෙත් ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ පිට පැමිණි කල, ඔබ බලය ලබනු ඇත. එවිට ඔබ, යෙරුසලමේ ද මුළු යුදයෙහි හා සමාරියේ ද පොළොවේ සීමාන්තය දක්වා ද මාගේ සාක්ෂිකරුවන් වනු ඇතැ” යි පැවසූ සේක.</verse>
				<verse number="9">උන්වහන්සේ මෙසේ පැවසූ පසු, ඔවුන්ගේ ඇස් ඉදිරිපිටදීම, උන්වහන්සේ ඔසවා ගනු ලැබ, වලාකුළක් ඔවුන්ගේ දැකුමෙන් උන්වහන්සේ ඉවත් කළේ ය.</verse>
				<verse number="10">උන්වහන්සේගේ නැගී යෑම ගැන ඔවුන් ස්වර්ගය දෙස නෙත් දල්වා සිටියදී, මෙන්න! සුදු වතින් සැරසුණු මිනිසුන් දෙදෙනෙක් ඔවුන් පසෙකින් සිටගෙන,</verse>
				<verse number="11">ඔවුන් අමතමින්, “ගලීල මනුෂ්‍යයිනි, ඔබ මෙතැන සිටගෙන ස්වර්ගය දෙස බලා සිටින්නේ කුමට ද? ඔබ වෙතින් ස්වර්ගයට ඔසවා ගනු ලැබූ මෙම යේසුස්වහන්සේ, ස්වර්ගයට නැගෙනු ඔබ දුටු අයුරින්ම, ආපසු එනු ඇතැ” යි කීහ.</verse>
				<verse number="12">ඉන්පසු ඔවුහු, යෙරුසලමට නුදුරින් සබත් දවසක ගමන් දුරකින් වූ ඔලීව නම් කන්දේ සිට යෙරුසලමට ආපසු ගියහ.</verse>
				<verse number="13">පුරවරයට ඇතුළු වූ ඔවුහු තමන් නැවතී සිටි උඩු මහල් කාමරයට නැඟුණහ. ඔවුහු නම්: පේතෘස්, යොහන්, යාකොබ්, අන්දෘ; පිලිප් හා තෝමස්; බර්තොලමෙව් හා මතෙව්; අල්පෙවුස්ගේ පුත්‍ර යාකොබ්, ජ්වලිතයා වූ සීමොන් හා යාකොබ්ගේ පුත්‍ර යූදස් ය.</verse>
				<verse number="14">මේ සියල්ලෝ යේසුස්වහන්සේගේ මෑණියන් වූ මරියා ඇතුළු ස්ත්‍රීන් ද උන්වහන්සේගේ සහෝදරයින් ද සමඟ එක් රැස්ව, එක්සිත්ව නිරතුරු යාච්ඤාවේ යෙදුණහ.</verse>
				<verse number="15">එදවස්හි එකසිය විසි දෙනකුගෙන් පමණ සමන්විත සහෝදරයින් අතරේ නැගී සිටගත් පේතෘස් කතා කරමින්,</verse>
				<verse number="16">“සහෝදරවරුනි, යේසුස්වහන්සේ අත්අඩංගුවට ගැනීමට මඟපෙන්වූ යූදස් ගැන ශුද්ධාත්මයාණන්වහන්සේ ඉහතදී දාවිත්ගේ මුවින් පැවසූ ශුද්ධ ලියවිල්ල ඉෂ්ට විය යුතුව තිබුණි.</verse>
				<verse number="17">ඔහුත් අප සමඟ ගණන් ගනු ලැබ, මෙම සේවයේ තමාගේ කොටස ලැබී ය.”</verse>
				<verse number="18">(මේ මිනිසා තම දුෂ්ටකමේ ත්‍යාගයෙන් ඉඩමක් මිලට ගත්තේ ය. ඔහු දරුණු ලෙස වැටී, මැදින් පැළී ගියෙන්, ඔහුගේ බඩවැල් සියල්ල පිටතට වීසි විය.</verse>
				<verse number="19">යෙරුසලම් වැසි සියල්ලන් මෙය දැන ගත්තෙන්, ඔවුහු එම ඉඩම ඔවුන්ගේ භාෂාවෙන් ලේ බිම යන අරුතින් අකෙල්දමා යනුවෙන් හැඳින් වූහ.)</verse>
				<verse number="20">“මන්ද, ගීතාවලිය පොතේ ඒ ගැන සඳහන් වන්නේ මෙසේ ය: “ ‘ඔහුගේ වාසස්ථානය පාළුවට ඇරේවා; එහි වාසයට කිසිවකු නො සිටීවා,’ හා “ ‘ඔහුගේ තනතුර වෙනකෙකු ගනිත්වා.’</verse>
				<verse number="21">එබැවින්, යේසුස් ස්වාමින්වහන්සේ අප අතරේ ආ-ගිය මුළු කාලය තුළ අප හා සිටි මිනිසුන්ගෙන් කෙනකු,</verse>
				<verse number="22">යොහන්ගේ බව්තීස්මයෙන් පටන් ගෙන, උන්වහන්සේ අප වෙතින් ඔසවා ගනු ලැබූ දවස දක්වා අප හා සිටි මේ අයගෙන් කෙනකු, උන්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම ගැන අප සමඟ සාක්ෂිකරුවකු විය යුතු යැ” යි පැවසී ය.</verse>
				<verse number="23">ඔවුහු ඒ සඳහා දෙදෙනකු යෝජනා කළහ. ඒ යුස්තස් නමින් ද හැඳින්වුණු බාර්සබස් නම් ලත් යෝසෙප් හා මත්තියස් ය.</verse>
				<verse number="24">ඉන්පසු ඔවුහු යාච්ඤා කරමින්, “ස්වාමින්වහන්ස, හැමදෙනාගේ සිත් දන්නා ඔබ, මේ දෙදෙනාගෙන් ඔබ තෝරාගත් තැනැත්තා මෙම සේවයට හා අපට දැක්වුව මැනව.</verse>
				<verse number="25">යූදස් විසින් තමන්ට හිමි ස්ථානයට යන පිණිස, හැර දමා යන ලද අපෝස්තලික තනතුරට සුදුස්සා පෙන්වා දුන මැනව” යි පවසා,</verse>
				<verse number="26">ඔවුන් උදෙසා කුසපත් ඇද්දහ. කුසපත වැටුණේ මත්තියස්ට ය. එබැවින් ඔහු ද අපෝස්තුලුවරුන් එකොළොස් දෙනා සමඟ ගණන් ගන්නා ලද්දේ ය.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුහු සියල්ලෝ එක් තැනක එක්ව සිටියහ.</verse>
				<verse number="2">හදිසියේම සැඩ සුළඟක් හමන්නාක් වැනි හඬක් ස්වර්ගයෙන් ඇසී, ඔවුන් හිඳ සිටි නිවස මුළුමනින් එයින් පිරී ගියේ ය.</verse>
				<verse number="3">ගිනි දළු වැනි දිව් ඔවුන් මධ්‍යයේ පෙනී, ඒ එකිනෙකා මත පිහිටා සිටියේ ය.</verse>
				<verse number="4">ඔවුහු සැවොම ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ කරනු ලදුව, ආත්මයාණන් පවසන්නට වර දුන් අයුරින් අන්‍ය භාෂාවලින් කතා කරන්නට වන්හ.</verse>
				<verse number="5">අහසින් යට ලොව හැම ජාතියකින්ම වූ භක්තිවන්ත යුදෙව්වරු මෙකල්හි යෙරුසලමේ විසූහ.</verse>
				<verse number="6">ඒ හඬ ඔවුන්ට ඇසුණු කල, ඒ කිමෙක්දැයි බැලීමට එක්රොක් වූ සමූහයා ඉන් අන්ද මන්ද වූයේ, තම තමන්ගේ භාෂාවෙන් ඔවුන් කතා කරනු ඇසුණු නිසා ය.</verse>
				<verse number="7">විස්මයෙන් වික්ෂිප්ත වූ ඔවුහු, කතා කරමින්, “මෙලෙස කතා කරන මේ සියල්ලෝ ගලීලයින් නො වෙත් ද?</verse>
				<verse number="8">එසේ නම් අපේම භාෂාවලින් මොවුන් කතා කරනු අප එකිනෙකාට ඇහෙන්නේ කොහොම ද?</verse>
				<verse number="9">පාර්තිවරුන්, මේදීයවරුන් හා එලාමිවරුන් ද මෙසපොතාමියා, යුදය, කප්පදෝකිය, පොන්තස්, ආසියා,</verse>
				<verse number="10">පිරිගිය, පම්පිලිය, ඊජිප්තුව සහ සිරේනිය අයත් ලිබියේ පළාත් යන දේශ දේශයන්හි වැසියන් ද රෝමයෙන් පැමිණි අමුත්තන් ද</verse>
				<verse number="11">යුදෙව්වන් හා යූදා දහම වැලඳගත් වෙනත් ජාතීන් ද ක්‍රීත්වරුන් හා අරාබිවරුන් ද වන අපට දෙවියන්වහන්සේගේ බලවත් ක්‍රියා ගැන අපේම භාෂාවන්ගෙන් ඔවුන් කතා කරන හඬ ඇසේ යැ” යි කීවෝ ය.</verse>
				<verse number="12">විස්මයෙන් ද වියවුලෙන් ද ඇලළුණු ඔවුහු, “මොකක් ද මෙහි තේරුම?” යි ඔවුනොවුන්ගෙන් අසා ගන්නට වන්හ.</verse>
				<verse number="13">එහෙත් සෙසු අය, ඔවුන් හාස්‍යයට ලක් කරමින්, “මොවුන් අලුත් මිදි යුෂවලින් මත්වෙලා” යි කීහ.</verse>
				<verse number="14">එහෙත් පේතෘස් එකොළොස් දෙනා සමඟ නැගිට සිටගෙන, උස් හඬ නගා ඔවුන් අමතමින්, “යුදෙව් මිනිසුනි, යෙරුසලමේ වාසය කරන සියල්ලෙනි, ඔබ මෙය දැන ගන්නවා හොඳයි; මගේ වචනවලට සවන් දෙන්න.</verse>
				<verse number="15">ඔබ සිතන පරිදි මේ මිනිසුන් බීමත්ව නො වේ. මන්ද තවමත් උදෑසන නවයයි.</verse>
				<verse number="16">මේ නම් යෝවෙල් දිවැසිවරයා මඟින් පැවසුණු දෑයි:</verse>
				<verse number="17">“ ‘දෙවියන්වහන්සේ ප්‍රකාශ කරන සේක්, අන්තිම දවස්වලදී මම මාගේ ආත්මයාණන් සියලු මිනිසුන් පිට වගුරුවමි. ඔබගේ පුත්‍රයින් හා දූවරුන් දිවැස් වැකි පවසනු ඇත. ඔබගේ තරුණයින් දර්ශන දකිනු ඇත. ඔබගේ මහලු මිනිසුන් ස්වප්න දකිනු ඇත.</verse>
				<verse number="18">මාගේ සේවක සේවිකාවන් පිට පවා එදවස්හි දී මම මාගේ ආත්මයාණන් වගුරුවමි. ඔවුන් දිවැස් වැකි පවසනු ඇත;</verse>
				<verse number="19">මම ඉහළ අහසේ අරුමයන් ද පහත පොළොවේ ලේ, ගිනි හා ධූම තරංග යන ලකුණු ද දක්වමි.</verse>
				<verse number="20">ස්වාමින්වහන්සේගේ දවස, ඒ ශ්‍රේෂ්ඨ වූ තේජෝබල දවස පැමිණෙන්නට පළමු හිරු අන්ධකාරයට හැරෙන්නේ ය; සඳු ලෙයට හැරෙන්නේ ය.</verse>
				<verse number="21">තවද ස්වාමින්වහන්සේගේ නාමය කියා අයදින හැම කෙනෙක්ම ගලවනු ලබන්නේ ය.’</verse>
				<verse number="22">“ඉශ්‍රායෙල් මිනිසුනි, මේ වචන අහගන්න. ඔබ දන්නා පරිදි ඔබට දෙවියන්වහන්සේ සහතික කළ මනුෂ්‍යයකු වූ නාසරෙත්හි යේසුස්වහන්සේ ලවා ඔබ අතරේ බලවත් ක්‍රියා, හාස්කම් ලකුණු දෙවියන්වහන්සේ කර වූ සේක.</verse>
				<verse number="23">දෙවියන්වහන්සේගේ නියත සැලැස්මක් හා උන්වහන්සේගේ පෙර දැනගැන්මට අනුව බාර දෙනු ලැබූ මෙම යේසුස්වහන්සේ, නුඹලා නීතියක් නැති මිනිසුන්ගේ අත්වලින් කුරුසියේ ඇණ ගසා, මරා දැමූහ.</verse>
				<verse number="24">එනමුත් දෙවියන්වහන්සේ උන්වහන්සේ නැගිටුවා, මරණ වේදනාවෙන් උන්වහන්සේ මුදවාලූ සේක. මන්ද උන්වහන්සේ යටත් කර තබා ගැනීමට කොහෙත්ම මරණයට හැකි වුණේ නැත.</verse>
				<verse number="25">දාවිත් උන්වහන්සේ ගැන මෙසේ කියා තිබේ: “ ‘මා අබියස සැම විටෙකම මම, ස්වාමින්වහන්සේ දුටිමි. මන්ද, මා සොලවනු නො ලබන ලෙසට උන්වහන්සේ මා දකුණු පසෙහි ය.</verse>
				<verse number="26">එබැවින් මගේ හද ප්‍රමෝදවත් වෙයි; මගේ දිව සොම්නස් වෙයි; මාගේ මාංසය ද බලාපොරොත්තුවෙන් වෙසෙනු ඇත.</verse>
				<verse number="27">මන්ද ඔබ මගේ ජීවාත්මය, පාතාලයේ අත්හැර දමන්නේ නැත; ඔබගේ ශුද්ධවතාණන්ට දිරා ජරාවට යෑම අත්දකින්නට ඔබ ඉඩ දෙන්නේ නැත.</verse>
				<verse number="28">ජීවනයේ මාවත්වලට ඔබ මා දැනුවත් කළ සේක, ඔබ අභිමුඛයේ සොම්නසින් ඔබ මා පුරවන සේක.’</verse>
				<verse number="29">“සහෝදරවරුනි, අපගේ ආදි කුල දෙටු දාවිත් මිය ගිය බවත්, මිහිදන් කළ බවත් නිසැකව ම කියන්නට මට පුළුවන. ඔහුගේ සොහොන අද දක්වාත් අප අතරේ තියේ.</verse>
				<verse number="30">එහෙත් තමාගේ ඇවෑමෙන් තමාගෙන්ම පැවතෙන්නකු තම සිහසුනේ හිඳුවීමට දෙවියන්වහන්සේ තමාට දිවුරා ගිවිසි වග දැන සිටි දිවැසිවරයකු වූ ඔහු,</verse>
				<verse number="31">මතු සිදුවන දේ දැක, ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටීම ගැන කතා කරමින්, උන්වහන්සේ හේදිසියේ අත්හැර දැමෙන්නේ නැති වගත්, උන්වහන්සේගේ මාංසය, දිරා ජරාවට පත් නො වන වගත් පැවසී ය.</verse>
				<verse number="32">දෙවියන්වහන්සේ මේ යේසුස්වහන්සේ ජීවනයට නැගිට වූ සේක. අප සැවොම ඊට සාක්ෂි ය;</verse>
				<verse number="33">දෙවියන්වහන්සේගේ දකුණු පසට උසස් කරනු ලැබ, උන්වහන්සේ, පියාණන්වහන්සේ වෙතින් පොරොන්දු වූ ශුද්ධාත්මයාණන් ලබා, දැන් ඔබ අසන, දකින ලෙස මෙසේ අප වෙත වැගුරූ සේක.</verse>
				<verse number="34">මන්ද දාවිත් ස්වර්ගයට නැඟුණේ නැත. එහෙත් ඔහු මෙසේ කියයි, “ ‘මා විසින් ඔබේ සතුරන් ඔබේ පයට පා පුටුවක් කරදෙන තෙක්,</verse>
				<verse number="35">මා දකුණු පසින් අසුන් ගන්නැ’ යි ස්වාමින්වහන්සේ මා සමිඳාණන්ට පැවසූ සේකැ” යි පවසා ඇත.</verse>
				<verse number="36">“එබැවින් නුඹලා විසින් කුරුසියේ ඇණ ගසනු ලැබූ මේ යේසුස්වහන්සේ, දෙවියන්වහන්සේ විසින් ස්වාමින්වහන්සේ ද ක්‍රිස්තුස්වහන්සේ ද කොට පත් කළ වග මුළු මහත් ඉශ්‍රායෙල් වංශය නිසැකව දැන ගනිත්වා!” යි පැවසී ය.</verse>
				<verse number="37">ඔවුන් මෙය ඇසූ කල ඔවුන්ගේ සිතට එය කා-වැදී ගියෙන්, පේතෘස් හා අනෙක් අපෝස්තුලුවරුන් ඇමතූ ඔවුහු, “සහෝදරවරුනි, කුමක් ද අප කළ යුත්තේ?” යි ඇසූහ.</verse>
				<verse number="38">පේතෘස් ඔවුන්ට පිළිතුරු දෙමින්, “පසුතැවිලි වන්න; පව් කමාව ලබන්නට ඔබ හැම කෙනෙක්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්ම ලබන්න. එවිට ශුද්ධාත්මයාණන් දීමනාව ඔබටත් ලැබේ.</verse>
				<verse number="39">මන්ද මේ පොරොන්දුව ඔබටත්, ඔබගේ දරුවන්ටත්, ලොව ඈත කොතැනක සිටියත්, අපගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ තමන්වහන්සේ වෙත කැඳවන සියලු දෙනාටත් යැ” යි පැවසී ය.</verse>
				<verse number="40">ඔහු තවත් බොහෝ වචනවලින් සාක්ෂි දරමින්, ඔවුන්ට අවවාද කරමින්; “මේ දූෂිත පරම්පරාවෙන් ගැලවෙන්නැ” යි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියේ ය.</verse>
				<verse number="41">පේතෘස්ගේ වචනය පිළිගත් අය බව්තීස්ම කරනු ලැබූහ. තුන්දහසක් පමණ දෙනෙක් එදින ඔවුන්ට එකතු කරන ලදහ.</verse>
				<verse number="42">ඔවුහු අපෝස්තුලුවරුන්ගේ ඉගැන්වීමට හා සහභාගිත්වයට ද රොටි කැඩීමට හා යාච්ඤාවට ද තුමූම කැප වූහ.</verse>
				<verse number="43">හැම කෙනෙක්ම ගෞරවාන්විත භීතියකින් පිරී ගියහ. අපෝස්තුලුවරුන් අතින් බොහෝ පුදුම ද අනුහස් ලකුණු ද සිදු විය.</verse>
				<verse number="44">සියලු ඇදහිලිවත්හු එක්සත්ව, සියලු දේ සාමුහිකව භුක්ති වින්දහ.</verse>
				<verse number="45">ඔවුහු තමන් සතු දේපළ හා භාණ්ඩ විකුණා, අවශ්‍යතා ඇතියවුන් සමඟ බෙදා හදා ගත්හ.</verse>
				<verse number="46">ඔවුහු දිනපතා එක්සිත්ව දේව මාලිගයේ එක්රැස් වෙමින් ද තම නිවෙස්හි දී රොටි කඩමින් ද ප්‍රමෝදයෙන් හා අවංක සිතින් එක්ව අහර ගත්තේ,</verse>
				<verse number="47">දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින් හා හැමදෙනාගේ හොඳ හිත දිනා ගනිමිනි. ස්වාමින්වහන්සේ ද ගැලවීම ලබන්නන් දිනපතාම ඔවුන්ගේ කණ්ඩායමට එක් කළ සේක.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">දිනක් පේතෘස් හා යොහන් යාච්ඤා වෙලාව වූ නව වන පැයේ දේව මාලිගය වෙත යමින් සිටියහ.</verse>
				<verse number="2">උපතේ පටන් කොර මිනිසෙක් ද මෙවේලේ දේව මාලිගයේ සුදර්ශන නම් දොරටුව වෙත ගෙන යනු ලැබී ය. දේව මාලිගයට පිවිසෙන්නන්ගෙන් සිඟමන් යදින පිණිස, දිනපතා ඔහු එම දොරටුව අසල තබන ලදී.</verse>
				<verse number="3">පේතෘස් හා යොහන් දේව මාලිගයට පිවිසෙන්නට යනු දුටු හෙතෙම, ඔවුන්ගෙන් සිඟමන් ඉල්ලී ය.</verse>
				<verse number="4">පේතෘස්, යොහන් සමඟ එක එල්ලේ ඔහු දෙස බලා, ඔහු අමතමින් “බලන්න, මෙහෙ අප දිහා” යි කීවේ ය.</verse>
				<verse number="5">ඔහු ඕනෑකමින් ඔවුන් දෙස බැලුවේ යමක් ඔවුන්ගෙන් ලැබේ ය යන බලාපොරොත්තුවෙනි.</verse>
				<verse number="6">එවිට පේතෘස්, “රිදීවත්, රත්රන්වත් මට නැත; එහෙත් මට ඇති දේ ඔබට දෙමි, නාසරෙත්හි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් නැගිට, ඇවිදින්නැ” යි පවසා,</verse>
				<verse number="7">ඔහුගේ දකුණත අල්ලා ඔහු නැගුටු වීය. එකෙණෙහිම ඔහුගේ කොර පාද හා වළලුකර සවිවූයෙන්,</verse>
				<verse number="8">ඔහු උඩ පැන, සිටගෙන, ඇවිදින්නට වන්නේ ය. මෙසේ ඔහු ඇවිදිමින්, පනිමින් හා දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්, ඔවුන් සමඟ දේව මාලිගයට පිවිසියේ ය.</verse>
				<verse number="9">ඔහු දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්, ඇවිදින අයුරු දුටු සියල්ලෝ,</verse>
				<verse number="10">දේව මාලිගාවේ සුදර්ශන දොරටුව ළඟ හිඳ, සිඟමින් සිටි මිනිසා ඔහු වග හැඳින, ඔහුට සිදු වූ අරුමය කවරේදැයි සිතාගත නො හැකිව විමතියෙන් ද විස්මයෙන් ද පිරී ගියහ.</verse>
				<verse number="11">මෙසේ විස්මයෙන් ඇලළුණු මුළු පිරිස, ඒ මිනිසා පේතෘස් හා යොහන් අතේ එල්ලී සිටියදී, ඔවුන් සිටි සලමොන්ගේ මණ්ඩප යයි හැඳින්වෙන තැනට එක්ව දුවගෙන ආහ.</verse>
				<verse number="12">පේතෘස් ඒ දැක ජනයා අමතමින්, “ඉශ්‍රායෙල් මිනිසුනි, මේ ගැන ඔතරම් පුදුමයෙන් මොකද? අපේම බලයෙන් හෝ භක්තිවන්තකමින් අප මේ මිනිසා ඇවිදින්නට සැලසුවා සේ අප දෙස ඇස් දල්වා බලා ඉන්නේ මොකද?</verse>
				<verse number="13">ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද යාකොබ්ගේ ද දෙවියන්වහන්සේ වන අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ, ස්වකීය සේවක යේසුස්වහන්සේ තේජෝමහිමයට පැමිණවූ සේක. ඔබ පිලාත් අතට එතුමන් භාර දුන් විට පිලාත් එතුමන් නිදහස් කරන්නට තීරණය කළත්, ඔබ කළේ ඔහු ඉදිරි පිටදී එතුමන් ප්‍රතික්ෂේප කිරීමයි.</verse>
				<verse number="14">ඔබ කළේ පාරිශුද්ධ, ධර්මිෂ්ඨ තැනැත්තාණන් ප්‍රතික්ෂේප කර, මිනී මරුවකු ඔබට නිදහස් කරදෙන මෙන් ඉල්ලා සිටීමයි.</verse>
				<verse number="15">මෙසේ ඔබ ජීවනයේ නිර්මාතෘවරයාණන් මරණයට පත් කළ ද, දෙවියන්වහන්සේ එතුමාණන් මළවුන්ගෙන් නැගිට වූ සේක. අපි ඊට සාක්ෂිකරුවෝයි.</verse>
				<verse number="16">දැන් ඔබ දකින, ඔබ හඳුනන මේ මිනිසා සවිමත්ව සිටින්නේ, උන්වහන්සේගේ නාමයෙන් සහ ඒ නාමය තුළ ඇදහීමෙනුයි. ඔබ හැමගේ ඇස් ඉදිරිපිට මේ මිනිසා සම්පූර්ණ සුවය ලැබ ඇත්තේ යේසුස්වහන්සේගේ නාමය තුළ ඇදහීම මඟිනි.</verse>
				<verse number="17">“මම දනිමි, සහෝදරවරුනි, ඔබේ නායකයින් මෙන්ම ඔබත් ක්‍රියා කර ඇත්තේ නො දැනුවත්කමින්.</verse>
				<verse number="18">එනමුත් ස්වකීය සියලු දිවැසිවරුන්ගේ මුවින් දෙවියන්වහන්සේ පෙර පවසන ලද පරිදි, උන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේ දුක් පීඩා විඳිය යුතු ය යන අනාවැකිය උන්වහන්සේ සම්පූර්ණ කළේ එලෙසයි.</verse>
				<verse number="19">එබැවින් පසුතැවිලි වී, හැරෙන්න. ඔබේ පාප අතුගා දැමෙන පිණිසත්, නව ප්‍රබෝධවත් කාලයක් ස්වාමින්වහන්සේ වෙතින් උදා වන පිණිසත්,</verse>
				<verse number="20">ඔබ උදෙසා තෝරා පත් කරන ලද ක්‍රිස්තුස්වහන්සේ හෙවත් යේසුස්වහන්සේ එවනු ලබන පිණිසත් එසේ කරන්න.</verse>
				<verse number="21">ඈත අතීතයේ තම ශුද්ධ දිවැසිවරුන් මඟින් දෙවියන්වහන්සේ ප්‍රකාශ කළ සියලු ආකාර සෞභාග්‍යවත් කාලයක් යළි උදා කෙරෙන තෙක්, යේසුස්වහන්සේ ස්වර්ගයේ සිටින්නට යුතුව ඇත.</verse>
				<verse number="22">මන්ද, මෝසෙස් කියා ඇත්තේ, ‘ඔබගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ මා හා සමාන දිවැසිවරයකු ඔබේ ජනයා අතරින් ඔබට නැගිටුවා දෙනු ඇත. උන්වහන්සේ ඔබට පවසන හැම දේටම ඔබ සවන් දිය යුතු ය.</verse>
				<verse number="23">උන්වහන්සේට සවන් නො දෙන කවරකු වුවත් ජනයා අතරින් සිඳ දැමිය යුතු ය’ කියා ය.</verse>
				<verse number="24">“සැබවින් ම සාමුවෙල් පටන්, ඔහුට පසුව ආ දිවැසිවරුන් හැම මේ වත්මන් දවස් ගැන කලින් ප්‍රකාශ කර තිබේ.</verse>
				<verse number="25">ඒ දිවැසිවරුන්ගේ ද ‘ඔබගේ වංශය තුළින් මිහි පිට සියලු ජනයා ආශිර්වාද ලබනු ඇතැ’ යි ආබ්‍රහම්ට පවසමින්, දෙවියන්වහන්සේ ඔබගේ පියවරුන් සමඟ කළ ගිවිසුමේ ද පුත්‍රයෝ ඔබයි.</verse>
				<verse number="26">දෙවියන්වහන්සේ, ස්වකීය සේවකයා නැගිටුවා දී, මුලින්ම එවන ලද්දේ ඔබ වෙතටයි. එසේ කළේ ඔබ හැම කෙනකුම ඔබේ දුෂ්ට මාර්ගවලින් හැරවීමෙන් ඔබට ආශිර්වාද කරනු පිණිස යැ” යි පැවසී ය.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">ඔවුන් ජනතාව අමතමින් සිටියදී, පූජකවරු ද දේව මාලිගයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ද සද්දුසිවරු ද ඔවුන් වෙත කඩා වැදුණහ.</verse>
				<verse number="2">ඔවුන් බෙහෙවින් කැලඹී සිටියේ ඒ දෙදෙනා ජනයාට උගන්වමින්, යේසුස්වහන්සේ තුළ මළවුන්ගෙන් නැගිටීම ප්‍රකාශ කළ නිසා ය.</verse>
				<verse number="3">ඔවුහු, ඔවුන් අත්අඩංගුවට ගෙන, ඒ වන විට සවස් වී තිබූ බැවින්, පසු දින තෙක් ඔවුන් සිර අඩස්සියේ තැබූහ.</verse>
				<verse number="4">එසේ වුව ද, වචනය ඇසූ බොහෝ දෙනෙක් අදහා ගත්හ. ඒ මිනිසුන්ගේ ගණන පන්දහසක් පමණ වූහ.</verse>
				<verse number="5">පසුවදා ඔවුන්ගේ පාලකයෝ ද වැඩිහිටියෝ ද දහම් පඬිවරු ද යෙරුසලමේදී එකට රැස් වූහ.</verse>
				<verse number="6">උත්තම පූජක අන්නස් ද කායාපස්, යොහන් හා ඇලෙක්සැන්ඩර් ද උත්තම පූජක පරපුරට අයත් අන් සැවොම ද එහි වූහ.</verse>
				<verse number="7">පේතෘස් හා යොහන් තමන් ඉදිරියට කැඳවූ ඔවුහු, “නුඹලා මේ දේ කළේ කවර බලයකින් ද? කවරකුගේ නාමයෙන් දැ?” යි ප්‍රශ්න කරන්නට වන්හ.</verse>
				<verse number="8">එවිට පේතෘස් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව, ඔවුන් අමතමින්, “පාලකයිනි, වැඩිහිටියනි,</verse>
				<verse number="9">කොර මිනිසකුට කරන ලද සද් ක්‍රියාවක් ගැනත්, ඔහු සුවපත් කළේ කෙසේ ද යන්න ගැනත් අද අපි ප්‍රශ්න කරනු ලබන්නෙමු නම්,</verse>
				<verse number="10">ඔබ හැමදෙනාත්, මුළු ඉශ්‍රායෙල් ජනතාවත් මෙය දැන ගනිත්වා! මේ මනුෂ්‍යයා හොඳ සුවයෙන් ඔබ ඉදිරියේ සිටගෙන සිටින්නේ, ඔබ විසින් කුරුසියේ ඇණ ගසනු ලැබූ නමුදු, දෙවියන්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගිට වූ නාසරෙත්හි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙනි.</verse>
				<verse number="11">“ ‘ඉදිකරන්නන් වන නුඹලා විසින් ඉවත ලූ, එහෙත් ප්‍රධාන ඉදිකිරීම් ගල බවට පත් වූ ගල,’ මෙම යේසුස්වහන්සේයි.</verse>
				<verse number="12">අන් කිසිවකු තුළ ගැලවීම නැත. මන්ද අපේ ගැලවීමට අවශ්‍ය වූ, මිනිසුන් අතරේ දෙන ලද අන් කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේමැ” යි පැවසී ය.</verse>
				<verse number="13">පේතෘස්ගේ හා යොහන්ගේ එඩිතරකම දැක, ඔවුන් නූගත්, සාමාන්‍ය වැසියන් බව දැන, ඔවුහු මවිත වූහ. ඔවුන් යේසුස්වහන්සේගේ ඇසුරෙහි සිටියවුන් බව ද ඔවුහු හැඳින ගත්හ.</verse>
				<verse number="14">සුවය ලද මිනිසා ද ඔවුන් පසෙක සිටිනු දුටු බැවින්, විරුද්ධව යමක් කියන්නට ඔවුනට හැකි නො වීය.</verse>
				<verse number="15">එබැවින් මන්ත්‍රණ සභාවෙන් පිට මං වන්නට ඔවුන්ට අණ දුන් ඔවුහු, තමන් අතරේ සාකච්ඡා කරන්නට වන්හ.</verse>
				<verse number="16">“මේ මිනිසුන් ගැන අප කුමක් ද කරන්නේ? මොවුන් අතින් අති විශිෂ්ට හාස්කමක් සිදු වූ වග යෙරුසලමේ වෙසෙන සියල්ලන්ට පැහැදිලියි. එය නැතැයි කියන්නට අපට නුපුළුවන.</verse>
				<verse number="17">එහෙත් මේ පුවත ජනයා අතරේ තවත් නො පැතිරෙන පිණිස, මින් මතු මේ නාමයෙන් කිසිවකුට කතා නො කරන්නැයි ඔවුන්ට තදින් අණ කළ යුතු යැ” යි කීහ.</verse>
				<verse number="18">එබැවින් යළි ඔවුන් කැඳවූ ඔවුහු, යේසුස්වහන්සේගේ නාමයෙන් කොහෙත්ම කතා නො කිරීමට හා නූගැන්වීමට ඔවුන්ට නියෝග කළහ.</verse>
				<verse number="19">එහෙත් පේතෘස් හා යොහන් ඔවුන්ට පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේට වඩා, ඔබට කන්දීම දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ හරිදැයි ඔබම තීරණය කරන්න.</verse>
				<verse number="20">මන්ද අප ඇසූ දුටු දෑ ගැන කතා නො කර සිටින්නට අපට නුපුළුවනැ” යි කීහ.</verse>
				<verse number="21">තවදුරටත් ඔවුන්ට තර්ජන කළ ඔවුහු, ඔවුන්ට යන්නට හැරියහ. සිදු වූ දේ ගැන මුළු මහත් ජනතාවම දෙවියන්වහන්සේට ප්‍රශංසා කළ බැවින් ඔවුන් දෙදෙනාට දඬුවම් කිරීමේ හේතුවක් සොයා ගැනීමට ඔවුහු අපොහොසත් වූහ.</verse>
				<verse number="22">මන්ද කරන ලද එම හාස්කමෙන් සුවය ලද මිනිසා හතළිස් විය ද ඉක්මවා සිටි බැවිනි.</verse>
				<verse number="23">නිදහස් කරනු ලැබ, තම සගයින් වෙත ආපසු ආ ඔවුහු, නායක පූජකයින් හා වැඩිහිටියන් තමන්ට කී සියල්ල ඔවුන්ට දැන්වූහ.</verse>
				<verse number="24">ඒ ඇසූ කල, ඔවුහු එක්ව, උස් හඬින් දෙවියන්වහන්සේ වෙත හඬ නගන්නට වූහ. “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස! අහසත්, පොළොවත්, මුහුදත්, එහි ඇති සියල්ලත් මැවූ තැනැන්වහන්ස,</verse>
				<verse number="25">ශුද්ධාත්මයාණන් මඟින්, ඔබගේ සේවක-අපගේ පිය වූ දාවිත්ගේ මුවින් ඔබවහන්සේ කතා කරමින්, “ ‘කිමදෝ අන්‍ය-ජාතීන් උදහස් වන්නේ; ජනයා නිෂ්ඵල උපා යොදන්නේ?</verse>
				<verse number="26">ස්වාමින්වහන්සේට ද උන්වහන්සේගේ අභිෂේක ලද්දාණන්ට ද එරෙහිව පොළොවේ රජවරු සටනට සැරසෙති; පාලකයෝ එක් පිලකට රොක් වෙති’ යි දන්වා තිබේ.</verse>
				<verse number="27">ඇත්තෙන්ම ඔබවහන්සේගේ ආලේපය ලද ඔබවහන්සේගේ ශුද්ධ සේවක යේසුස්වහන්සේට එරෙහිව කුමන්ත්‍රණ කිරීමට හෙරෝද් හා පොන්තියුස් පිලාත්, අන්‍ය-ජාතීන් හා ඉශ්‍රායෙල් ජනයා සමඟ මේ නගරයේදී එක්රැස් වී ඇත.</verse>
				<verse number="28">ඔවුන් කර ඇත්තේ, ඔබවහන්සේගේ බලය හා අභිප්‍රාය පරිදි මතු සිදු විය යුතු බවට ඉහතදී ඔබවහන්සේ නියම කළ ලෙසයි.</verse>
				<verse number="29">අහෝ ස්වාමින්වහන්ස, දැන් ඔවුන්ගේ තර්ජන ගැන බලා, ඔබවහන්සේගේ වචනය මහා නිර්භීතකමින් කතා කරන්නට ඔබවහන්සේගේ දාසයින් වූ අපට වර දුන මැනව.</verse>
				<verse number="30">ඔබවහන්සේගේ ශුද්ධ සේවක යේසුස්වහන්සේගේ නාමයෙන් සුව කිරීමට ද විස්මිත ලකුණු හා හාස්කම් දැක්වීමට ද ඔබවහන්සේගේ හස්තය දිගු කළ මැනව” යි කීහ.</verse>
				<verse number="31">එසේ යාච්ඤා කර නිම වූ කල, ඔවුන් එක් රැස්ව සිටි ස්ථානය දෙදරුම් කෑවේ ය. ඔවුහු සියල්ලෝ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ කරනු ලැබ, දෙවියන්වහන්සේගේ වචනය නිර්භීතව කතා කළෝ ය.</verse>
				<verse number="32">අදහාගත් මුළු සමූහයා එක් හදකින් ද එක් ජීවයකින් ද වෙළී සිටියහ. තමන් සතුව තිබූ දේ ගැන ඒවා තමාගේ යැයි කිසිවකු කීවේ නැත. සියල්ල ඔවුහු සාමුහිකව භුක්ති වින්දහ.</verse>
				<verse number="33">යේසුස් ස්වාමින්වහන්සේගේ නැවත නැගිටීම ගැන අපෝස්තුලුවරු මහත් බලයෙන් තම සාක්ෂිය දුන්හ. ඔවුන් සියල්ලන් කෙරෙහි මහත් අනුග්‍රහයක් විය.</verse>
				<verse number="34">අග හිඟ ඇති කිසිවෙක් ඔවුන් අතරේ නො වූහ. මන්ද වතුපිටි හෝ ගේ-දොර හිමිකරුවන් ඒවා විකුණා, එසේ විකිණීමෙන් ලද මුදල් ගෙනවුත්,</verse>
				<verse number="35">අපෝස්තුලුවරුන්ගේ පාමුල තැබූහ. ඒවා අවශ්‍යතා ඇතියවුන් සමඟ බෙදා හදා ගන්නා ලදී.</verse>
				<verse number="36">අපෝස්තුලුවරුන් විසින් බාර්ණබස් යයි හැඳින් වූ (එහි අරුත දිරි ගන්වන පුත්‍රයා යනුයි) යෝසෙප් නම් මිනිසෙක් විය. ලෙවී වාංශිකයෙක් වූ ඔහු සයිප්‍රස් වැසියෙකි.</verse>
				<verse number="37">තමන් සතුව තිබූ ඉඩමක් විකුණූ ඔහු, එම මුදල් ගෙනවුත්, අපෝස්තුලුවරුන්ගේ පාමුල තැබී ය.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">එහෙත්, අනනියස් නම් වූ මිනිසෙක් තම භාර්යාව වූ සපිරා සමඟ ඉඩම් කැබැල්ලක් විකුණා,</verse>
				<verse number="2">තම භාර්යාවගේ ද අනුදැනුම ඇතිව, විකුණූ මිලෙන් කිසියම් කොටසක් තමන්ටම තබාගෙන, කොටසක් පමණක් ගෙනවුත්, අපෝස්තුලුවරුන්ගේ පාමුල තැබී ය.</verse>
				<verse number="3">එවිට පේතෘස් කතා කරමින්, “අනනියස්, ශුද්ධාත්මයාණන්වහන්සේට බොරු කියා, ඉඩම විකුණූ මිලෙන් කොටසක් ඔබ ළඟ තබා ගැනීමට සාතන් ඔබේ හදවත පිරවූයේ ඇයි?</verse>
				<verse number="4">විකිණීමට පෙර ඉඩමේ අයිතිය ඔබේම නො වේ ද? එය විකුණා ලැබුණු මුදලත් ඔබේ මනාපය යටතේ නො වේ ද? මෙහෙම දෙයක් කරන්නට ඔබේ හදවත පෙලඹුණේ කෙසේ ද? ඔබ බොරුකර ඇත්තේ මිනිසුන්ට නො වෙයි; දෙවියන්වහන්සේට” යැයි කීවේ ය.</verse>
				<verse number="5">අනනියස් ඒ ඇසූ කල, ඇද වැටී, මළේ ය. ඒ වග ඇසූ සියල්ලන් පිට මහා බයක් පැමිනුණේ ය.</verse>
				<verse number="6">තරුණයෝ නැගිට, ඔහුගේ මිනිය ඔතා, එය පිටතට ගෙන ගොස්, ඔහු වළ දැමූහ.</verse>
				<verse number="7">පැය තුනක පමණ විරාමයකින් පසු ඔහුගේ භාර්යාව එතැනට ආවේ සිදු වූ කිසිවක් නො දැන ය.</verse>
				<verse number="8">පේතෘස් ඇය අමතමින්, “මට මේක කියන්න; ඉඩම විකිණීමෙන් ඔබ දෙපොළ ලැබූ මුදල මෙපමණ දැ?” යි ඇසී ය. “එසේය, මුදල එපමණකි” යි ඕ පිළිතුරු දුන්නා ය.</verse>
				<verse number="9">එවිට පේතෘස්, “ස්වාමින්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ පරීක්ෂා කිරීමට ඔබ දෙපොළ එකඟ වූයේ කෙසේ ද? අන්න! නුඹේ ස්වාමි පුරුෂයා භූමදාන කළ අය ආපසු දොරකඩටම ඇවිදින්; ඔවුන් නුඹත් එලෙසම ගෙන යනු ඇතැ” යි කීවේ ය.</verse>
				<verse number="10">එකෙණෙහිම ඔහුගේ පාමුල ඇද වැටුණු ඕ මළා ය. එවිට ඇතුළට පිවිසි තරුණයෝ ඈ මිය ගොස් සිටිනු දැක, ඇගේ මිනිය පිටතට ගෙන ගොස්, ඇගේ ස්වාමි පුරුෂයා පසෙකින් ඇය වළ දැමූහ.</verse>
				<verse number="11">මුළු සභාව ද සිදු වූ දෑ ඇසූ සියල්ලෝ ද මහා භීතියකින් වෙළී ගියෝ ය.</verse>
				<verse number="12">අපෝස්තුලුවරුන්ගේ අත්වලින් ජනයා අතරේ දක්වන ලද අනුහස් ලකුණු ද හාස්කම් ද බොහෝ ය. සියලු ඇදහිලිවත්හු දේව මාලිගයේ සලමොන්ගේ මණ්ඩපයේ එක්රැස් වීම සිරිතක් කොට ගත්හ.</verse>
				<verse number="13">ඔවුන් හා එක්වීමට සෙසු කිසිවකුටත් ධෛර්යය තිබුණේ නැත. එහෙත් ජනයා ඔවුන් ඉතා උසස් කොට සැලකූහ.</verse>
				<verse number="14">තවද ස්ත්‍රී-පුරුෂ දෙගොල්ලෙන් යුතු ජන සමූහයෝ වඩ වඩා ස්වාමින්වහන්සේ අදහා ගනිමින් ඇදහිල්ලට එකතු වූහ.</verse>
				<verse number="15">පේතෘස් යන එන අතරේ, අඩු වශයෙන් ඔහුගේ සෙවණැල්ලවත් යමකු පිට වැටෙන පිණිස ජනයා මං මාවත්වලට රෝගීන් ගෙනවුත්, යහන් හා පැදුරු මත ඔවුන් තැබූහ.</verse>
				<verse number="16">තවද යෙරුසලම අවට නගරවල ජනයා, රෝගීවූවන් ද අශුද්ධාත්මවලින් පීඩා විඳින්නවුන් ද ගෙනවුත්, රැස් වී සිටියහ. ඒ සියල්ලෝ සුව කරන ලද්දෝ ය.</verse>
				<verse number="17">එබැවින් උත්තම පූජකයා ද සද්දුසිවරුන්ගේ කණ්ඩායමට අයත් ඔහුගේ හවුල්කරුවෝ සියලු දෙනා ද අපෝස්තුලුවරුන් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පිරී,</verse>
				<verse number="18">ඔවුන් අත්අඩංගුවට ගෙන, පොදු සිරගෙයි දැමූහ.</verse>
				<verse number="19">එහෙත් එදින රාත්‍රියේ ස්වාමින්වහන්සේගේ දූතයෙක් සිරගෙයි දොරටු හැර, ඔවුන් පිටතට ගෙනවුත්, කතා කොට,</verse>
				<verse number="20">“ගොස්, දේව මාලිග මළුවේ සිටගෙන, මේ නව ජීවනය පිළිබඳ සම්පූර්ණ පණිවුඩය ජනතාවට පවසන්නැ” යි කීවේ ය.</verse>
				<verse number="21">ඒ අනුව ඔවුහු දවස උදා වෙත්ම, දේව මාලිගයට පිවිස, ජනතාවට උගන්වන්නට වන්හ. ඒ අතර උත්තම පූජකයා, තම හවුල්කරුවන් ද සමඟ පැමිණ, ඉශ්‍රායෙල් මුළු වැඩිහිටි සමාජය වන මන්ත්‍රණ සභාව රැස් කරවා, අපෝස්තුලුවරුන් ගෙන ඒමට සිර ගෙදරට මිනිසුන් යැවී ය.</verse>
				<verse number="22">එහෙත් සිර ගෙදරට ආ ඒ නිලධාරීන්ට එහිදී ඔවුන් හමු වුණේ නැත. එබැවින් ආපසු ගිය ඔවුහු කරුණු සැල කරමින්,</verse>
				<verse number="23">“සිරගෙයි දොරටු ආරක්ෂිත ව අගුළු ලා තිබෙනු ද මුර භටයින් දොරටු මුර කරමින් සිටිනු ද අප දුටු නමුත්, දොරටු ඇරිය විට ඇතුළේ කිසිවකුත් අපට දකින්නට ලැබුණේ නෑ” යි කීහ.</verse>
				<verse number="24">එපුවත ඇසූ දේව මාලිගයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ද නායක පූජකවරු ද මෙයින් කුමක් වේ දෝයි සිතාගත නො හැකිව අන්ද මන්ද වූහ.</verse>
				<verse number="25">එවිට ම කෙනෙක් ඔවුන් වෙත පැමිණ, “අන්න! ඔබ සිරගෙයි දැමූ මිනිස්සු දේව මාලිගාවේ සිටගෙන, ජනතාවට උගන්වති” යි දැන්වී ය.</verse>
				<verse number="26">එවිට ප්‍රධාන ආරක්ෂක නිලධාරියා, සෙසු නිලධාරීන් සමඟ පිටත්ව ගොස්, අපෝස්තුලුවරුන් කැඳවාගෙන ආවේ ය. එහෙත් ජනයා තමනට ගල් ගසතැයි බියෙන් ඔවුහු ඔවුන් කැටිව ආයේ, කිසිදු බලහත්කාරයක් නො පාමිනි.</verse>
				<verse number="27">මෙසේ අපෝස්තුලුවරුන් මන්ත්‍රණ සභාව ඉදිරියට පැනවූ පසු, උත්තම පූජකයා ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නට වන්නේ ය.</verse>
				<verse number="28">“මේ නාමයෙන් ජනතාවට නූගන්වන ලෙස අපි නුඹලාට තරයේම නියෝග කළෙමු. එහෙත් නුඹලා, නුඹලාගේ ඉගැන්වීම්වලින් මුළු යෙරුසලම් නගරයම පුරවා, මේ මිනිසාගේ ලේ ගැන අප වරදකරුවන් කරන්නට අදහස් කරති” යි කීවේ ය.</verse>
				<verse number="29">පේතෘස් ද අනෙක් අපෝස්තුලුවරු ද පිළිතුරු දෙමින්, “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට වඩා දෙවියන්වහන්සේටයි.</verse>
				<verse number="30">ඔබ විසින් ගසක එල්ලා මරා දමන ලද යේසුස්වහන්සේ, අපගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ නැගිට වූ සේක.</verse>
				<verse number="31">ඉශ්‍රායෙල් ජනයාට පසුතැවිල්ලත්, පාප කමාවත් දෙන පිණිස උන්වහන්සේ අධිපතියාණන් ද ගැලවුම්කරුවාණන් ද කොට දෙවියන්වහන්සේ ස්වකීය දකුණු පසට උන්වහන්සේ උසස් කළ සේක.</verse>
				<verse number="32">අපියි මේවාට සාක්ෂිකරුවෝ; තමන්වහන්සේට කීකරු වන්නන් හට දෙවියන්වහන්සේ ප්‍රදාන කළ ශුද්ධාත්මයාණෝත් සාක්ෂි වන සේකැ” යි කීහ.</verse>
				<verse number="33">ඒ ඇසූ ඔවුහු කෝපයෙන් වියරුව, ඔවුන් මරා දැමීමට අදහස් කළහ.</verse>
				<verse number="34">එහෙත් සියලු දෙනාගේ ගරු බුහුමනට පාත්‍ර වූ දහම් නීති පඬිවරයකු වූ ගමාලියෙල් නම් පරිසිවරයා මන්ත්‍රණ සභාව ඉදිරියේ නැගිට, ඒ මිනිසුන් මද වේලාවකට පිටතට ගෙන යෑමට අණ කළේ ය.</verse>
				<verse number="35">අනතුරුව මන්ත්‍රණ සභාව ඇමතූ හෙතෙම, “ඉශ්‍රායෙල් මිනිසුනි, මේ මිනිසුන්ට ඔබ කරන්නට යන දේ ගැන පරිස්සම් වන්න.</verse>
				<verse number="36">කලකට ඉහත තෙවුදාස්, තමා සැලකිය යුතු කෙනෙකැයි කියා ගනිමින් නැගිට හිටියා. හාරසිය දෙනකු පමණ පිරිවරක් ඔහුට එක්වුණා. එහෙත් ඔහු මරා දමනු ලැබූ පසු, ඔහුගේ සහචරයින් විසිරවනු ලැබ, ඒ සියල්ල නැත්තටම නැති වී ගියා.</verse>
				<verse number="37">ඉන්පසු සංගණන දවස්වල ගලීලයකු වූ යූදස් කලඑළි බැස පිරිසකට තමන් පසුපස ඒමට සැලැස්සුවා. ඔහුත් මරා දමනු ලැබ, ඔහුගේ සහචරයෝ ද විසිරවනු ලැබුවා.</verse>
				<verse number="38">එබැවින් මේ වත්මන් සිද්ධිය ගැන ඔබට මා කරන අවවාදය මෙයයි: මේ මිනිසුන්ට කිසිවක් නො කරන්න! ඔවුන් යන්නට හරින්න! ඔවුන්ගේ මේ ව්‍යාපාරය හෝ ක්‍රියා මාර්ගය, හුදු මිනිස් නිර්මාණයක් නම්, එය නිෂ්ඵල වනු ඇති.</verse>
				<verse number="39">එහෙත් එය දෙවියන්වහන්සේගෙන් නම්, මොවුන් මැඩලන්නට ඔබට නුපුළුවන. එයින් වන්නේ, ඔබ දෙවියන්වහන්සේට විරුද්ධව සටන් වැදීම පමණක් බව ඔබටම පෙනී යනු ඇතැ” යි කීවේ ය.</verse>
				<verse number="40">ඔහුගේ උපදෙස පිළිගනු ලැබිණි. ඉන්පසු අපෝස්තුලුවරුන් යළි කැඳවූ ඔවුහු ඔවුන්ට කස පහර දී, යේසුස්වහන්සේගේ නාමයෙන් මින් මතු කතා නො කරන ලෙස නියෝග කොට, ඔවුන් යන්නට හැරියහ.</verse>
				<verse number="41">අපෝස්තුලුවරු මන්ත්‍රණ සභාවෙන් පිටව ගියේ ඒ නාමය උදෙසා නින්දා විඳීමට තරම් තුමූ වටින්නන් සේ සලකනු ලැබීම ගැන ප්‍රීති වෙමිනි.</verse>
				<verse number="42">ඔවුන් දිනපතා දේව මාලිගයේ මෙන්ම නිවසක්, නිවසක් පාසා ගොස් ඉගැන්වීමත්, යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ ය යන ශුභාරංචිය ප්‍රකාශ කිරීමත් නැවැත් වූයේ නැත.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">අනුගාමික සංඛ්‍යාව වර්ධන වෙමින් පැවති එකල, ග්‍රීක් කතා කළ යුදෙව්වන් හෙබ්‍රෙව් කතා කළවුනට දොස් පවරන්නට වූයේ, දිනපතා ආහාර බෙදීමේදී ඔවුන්ගේ වැන්දඹුවන් නො සලකා තිබූ බැවිනි.</verse>
				<verse number="2">එබැවින් මුළු ගෝල සමූහයා කැඳවූ දොළොස් දෙනා කතා කරමින්, “දෙවියන්වහන්සේගේ වචනය දේශනා කිරීමේ මෙහෙවර අතපසු කරමින්, අප මේසවල සේවයේ නියැළීම සුදුසු නො වේ.</verse>
				<verse number="3">එබැවින් සහෝදරවරුනි, ඔබ අතරින් හොඳ පිළිගැනීමක් ඇති, ශුද්ධාත්මයාණන්ගෙන් හා ප්‍රඥාවෙන් පූර්ණ හත්දෙනකු තෝරා ගන්න. එවිට මේ කටයුතු ඔවුනට පවරා,</verse>
				<verse number="4">අපි යාච්ඤාවටත්, වචනයේ මෙහෙයටත් කැප වන්නෙමු” යි කීහ.</verse>
				<verse number="5">මෙම යෝජනාවට කණ්ඩායමේ සියල්ලෝ ප්‍රසන්න වූහ. එබැවින් ඔවුහු ඇදහිල්ලේ හා ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ස්තේපන් ද පිලිප්, ප්‍රකොරස්, නිකනෝර්, තීමෝන් හා පර්මෙනස් ද යූදා දහම වැලඳගත් අන්තියෝකියානු නිකෝලස් ද තෝරා ගත්හ.</verse>
				<verse number="6">ඔවුහු ඒ මිනිසුන් අපෝස්තුලුවරුන් ඉදිරියට පැමිණවූ කල, ඔවුහු යාච්ඤා කර ඔවුන් පිට අත් තැබූහ.</verse>
				<verse number="7">මෙසේ දෙවියන්වහන්සේගේ වචනය පැතිර ගියේ ය. අනුගාමිකයින්ගේ සංඛ්‍යාව ද යෙරුසලමෙහි සීඝ්‍රයෙන් වැඩි වන්නට විය. පූජකයෝ මහත් සංඛ්‍යාවක් ද ඇදහිල්ලට කීකරු වූහ.</verse>
				<verse number="8">ස්තේපන් අනුග්‍රහයෙන් හා බලයෙන් පූර්ණව, ජනයා අතරේ බලවත් හාස්කම් ද අනුහස් ලකුණු ද පෑවේ ය.</verse>
				<verse number="9">එහෙත් නිදහස් මිනිස් සිනගෝගය ලෙස හැඳින්වුණු සිනගෝගයට අයිති වූවෝ නැගිට, ස්තේපන්ට එරෙහිව වාද කරන්නට වූහ. ඔවුහු සිරේනියේ හා ඇලෙක්සන්ද්‍රියාවේ ද සිලිසියා හා ආසියා පෙදෙස්වලින් ද පැමිණියෝ වූහ.</verse>
				<verse number="10">එහෙත් ඔහු කතා කළ ප්‍රඥාවට හා ආත්මයාණන්ගේ බලයට එරෙහිව නැගී සිටීමට ඔවුහු අපොහොසත් වූහ.</verse>
				<verse number="11">එබැවින් ඔවුහු රහසිගතව ඇතැම් දෙනකු පොලඹවමින්, “මොහු මෝස‍ෙස්ටත්, දෙවියන්වහන්සේටත් එරෙහිව අපහාස වචන පවසනු අපට ඇසුණා” යි ඔවුන් ලවා කියවූහ.</verse>
				<verse number="12">මෙසේ ඔවුහු ජනතාව ද වැඩිහිටියන් ද දහම් පඬිවරුන් ද උසිගැන්වූයෙන්, ඔවුහු ස්තේපන් අල්ලා මන්ත්‍රණ සභාව ඉදිරියට ගෙන ආහ.</verse>
				<verse number="13">එහිදී ඔහුට විරුද්ධව බොරු සාක්ෂිකරුවන් ඉදිරිපත් කළෙන්, ඔවුහු සාක්ෂි දෙමින්, “මේ මිනිසා අපේ මේ ශුද්ධස්ථානයටත්, දහම් නීති සංග්‍රහයටත් විරුද්ධ වචන නො නවත්වාම පවසයි.</verse>
				<verse number="14">මන්ද මේ නාසරෙත්හි යේසුස්, මේ ස්ථානය කඩා බිඳ, මෝසෙස් අපට නියම කළ වත් පිළිවෙත් වෙනස් කරන වග මොහු පවසනු අප අසා සිටියා” යි පැවසූහ.</verse>
				<verse number="15">මන්ත්‍රණ සභාවේ අසුන් ගෙන සිටි සියල්ලෝ ඕනෑකමින් ස්තේපන් දෙස බැලූහ. එවිට ඔහුගේ මුහුණ දේව දූතයකුගේ මුහුණ මෙන් ඔවුහු දුටහ.</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">එවිට උත්තම පූජකයා, “මේවා ඇත්ත දැ?” යි ඇසී ය.</verse>
				<verse number="2">ස්තේපන් මෙසේ පිළිතුරු දෙන්නට වන්නේ ය: “සහෝදරයිනි, පියවරුනි, මට සවන් දෙන්න. අප ආදි පිය වූ ආබ්‍රහම්, හාරාන්හි විසීමට පෙර, මෙසපොතාමියාවේ සිටියදී, තේජසේ දෙවියන්වහන්සේ ඔහුට පෙනී,</verse>
				<verse number="3">‘ඔබේ රටත්, ඔබේ නෑසියනුත් අතහැර, මා ඔබට පෙන්වා දෙන දේශයට යන්නැ’ යි පැවසූ සේක.</verse>
				<verse number="4">“එබැවින් ඔහු කල්දිවරුන්ගේ දේශයෙන් පිට වී ගොස්, හාරාන්හි පදිංචි විය. ඔහුගේ පියාගේ මරණයෙන් පසු, දැන් ඔබ වෙසෙන මේ දේශයට දෙවියන්වහන්සේ ඔහු ගෙනා සේක.</verse>
				<verse number="5">උන්වහන්සේ මෙහි කිසි උරුමයක් ඔහුට දුන්නේ නැත. බිම් අඩියක්වත් දුන්නේ නැත. එහෙත් මේ දේශය ඔහුටත්, ඔහුගෙන් පසු, ඔහුගේ දරු පරපුරටත් හිමි කොට දෙන බවට උන්වහන්සේ පොරොන්දු වූයේ, ඒ වන විටත් ආබ්‍රහම් දරුවකු නො ලැබ සිටියදී ය.</verse>
				<verse number="6">දෙවියන්වහන්සේ ඔහුට පැවසූයේ, ‘ඔබගේ දරු පරපුර වසර හාරසියයක කාලයක් අනුන්ගේ දේශයක වහල් භාවයට හා තාඩන-පීඩනයට පත් වෙමින්, පිටදේශීන් මෙන් ගත කරනු ඇත.</verse>
				<verse number="7">එහෙත් ඔවුන් වහල්කමේ යෙදවූ ජාතියට මම දඬුවම් කරන්නෙමි’ යනුවෙනි. දෙවියන්වහන්සේ ඔහුට කතා කරමින්, ‘ඉන්පසු ඔවුන් ඒ දේශයෙන් පිට වී අවුත්, මේ ස්ථානයේදී මට නමස්කාර කරනු ඇතැ’ යි පැවසූ සේක.</verse>
				<verse number="8">ඉන්පසු උන්වහන්සේ චර්මඡේද ගිවිසුම ආබ්‍රහම්ට දුන් සේක. මෙසේ ආබ්‍රහම් ඊසාක්ගේ පියා බවට පත්ව, අට වන දවසේ ඔහු චර්මඡේද කළේ ය. ඊසාක්, යාකොබ්ගේ පියා විය. යාකොබ්, මුල් දොළොස් ගෝත්‍රපතීන්ගේ පියා විය.</verse>
				<verse number="9">“මෙම ගෝත්‍රපතීන්, යෝසෙප්ට ඊර්ෂ්‍යාවෙන් ඔහු වහලකු සේ ඊජිප්තුවට විකුණූ නමුදු, දෙවියන්වහන්සේ ඔහු සමඟ සිටි සේක;</verse>
				<verse number="10">ඔහුගේ සියලු කරදරවලින් ඔහු මිදූ උන්වහන්සේ ඔහුට ප්‍රඥාවත්, ඊජිප්තු රජු වූ පාරාවෝගේ ප්‍රසාදයත් දුන් සේක. එබැවින් පාරාවෝ ඊජිප්තුවේ හා මුළු රජ මැදුරේ පාලකයා කොට ඔහු පත් කළේ ය.</verse>
				<verse number="11">“එකල ඊජිප්තුව මුළුල්ලේත්, කානාන් දේශයේත් සාගතයක් හා මහා වින්නැහියක් ඇති වී, අපේ පියවරුන්ට ආහාර සොයා ගැනීමට නො හැකි විය.</verse>
				<verse number="12">ඊජිප්තුවේ ධාන්‍ය තිබෙන වග සැල වූ කල යාකොබ්, අප පියවරුන් පළමු වරට එහි පිටත් කර යැවී ය.</verse>
				<verse number="13">ඔවුන් දෙවන වර එහි ගිය අවස්ථාවේ, යෝසෙප් තමා කවුරුන්දැයි තම සහෝදරයනට හෙළි කළේ ය. මෙසේ යෝසෙප්ගේ පවුලේ වගතුග පාරාවෝට දැනගන්නට ලැබිණි.</verse>
				<verse number="14">පසුව යෝසෙප්, තම පියා වූ යාකොබ් ද හැත්තෑපස් දෙනකුගෙන් යුතු ඔහුගේ පවුලේ සියල්ලන් ද කැඳවමින් පණිවුඩ යැවී ය.</verse>
				<verse number="15">යාකොබ් ඊජිප්තුවට ගියේ මෙලෙසිනි. ඔහුත්, අප පියවරුත් එහිදී මළහ.</verse>
				<verse number="16">ඔවුන්ගේ සිරුරු ආපසු ගෙනවුත්, ආබ්‍රහම් විසින් හාමොර්ගේ පුත්‍රයින්ගෙන් නිශ්චිත මුදලකට මිලට ගෙන තිබූ ෂෙකෙම්හි සොහොනේ තැන්පත් කරන ලදී.</verse>
				<verse number="17">“දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට දුන් පොරොන්දුව ඉටු කිරීමේ කාලය ආසන්න වෙත්ම, ඊජිප්තුව තුළ වූ අපේ ජන සංඛ්‍යාව අධිකව වර්ධන වූ අතර,</verse>
				<verse number="18">‘යෝසෙප් පිළිබඳ අවබෝධයක් නැති වෙනත් රජෙක් ඊජිප්තුවේ රජකමට පත් වූයේ ය.’</verse>
				<verse number="19">ඔහු අපේ ජනතාවට එරෙහිව කූට උපා යොදමින්, ඔවුන්ගේ බිළිඳු දරුවන් ජීවත් නො වන පිණිස ඔවුන් ගෙවලින් පිටත දමන ලෙස බල කරමින්, අපේ පියවරුනට කුරිරුකම් කළේ ය.</verse>
				<verse number="20">“මෝසෙස් උපන්නේ මෙම වකවානුවේදී ය. ඔහු දෙවියන්වහන්සේ ඉදිරියේ ප්‍රසන්න දරුවෙක් විය. ඔහු තුන් මසක් තම පියාගේ නිවසේ වැඩිණි.</verse>
				<verse number="21">ගෙයින් පිටතට ඔහු දැමූ කල, පාරාවෝගේ දූ කුමරි ඔහු රැගෙන ගොස්, තම පුත්‍රයා ලෙස ඔහු හදාවඩා ගත්තා ය.</verse>
				<verse number="22">ඊජිප්තුවරුන්ගේ සියලු ශිල්ප ශාස්ත්‍රය උගන්වනු ලැබ, මෝසෙස් කතාවෙහි ද ක්‍රියාවෙහි ද ප්‍රබලයකුව සිටියේ ය.</verse>
				<verse number="23">“හතළිස්වන වියට පත් පසු, තම සහෝදර ජනතාව වන ඉශ්‍රායෙල්වරුන්ගේ වගතුග බලන්නට යෑමට මෝස‍ෙස්ට සිත් පහළ විය.</verse>
				<verse number="24">එසේ යද්දී ඔවුන්ගෙන් කෙනකුට ඊජිප්තුවරයෙක් පීඩා කරනු දැක ඔහු බේරන්නට ගොස්, ඊජිප්තුවා ගසා හෙළා, පීඩිතයාගේ පළිය ගත්තේ ය.</verse>
				<verse number="25">ඔහු සිතුවේ ඔවුන් ගලවා ගැනීමට දෙවියන්වහන්සේ තමා යොදවනු ඇතැයි තම ජනයා වටහා ගනිතැයි කියා ය. එහෙත් ඔවුන් වටහා ගත්තේ නැත.</verse>
				<verse number="26">පසු දින ඔවුන් දබර කරද්දී පැමිණි ඔහු ඔවුන් සමඟි කරන අදහසින්, ‘මිනිසුනි, නුඹලා සහෝදරයෝයි! එකිනෙකාට හිරිහැර කරන්නේ මන්දැ?’ යි ඇසී ය.</verse>
				<verse number="27">“එවිට තම අසල්වැසියාට වරද කළ තැනැත්තා මෝසෙස් තල්ලුකර දමමින්, ‘අපේ පාලකයා හා විනිශ්චයකාරයා කොට නුඹ පත් කර එවුවේ කවුරු ද?</verse>
				<verse number="28">ඊයේ අර ඊජිප්තුවා මරා දැමූ ලෙස මා මරන්නට එනවා දැ?’ යි ඇසී ය.</verse>
				<verse number="29">ඒ ප්‍රකාශය ඇසූ මෝසෙස් පලා ගොස්, මිදියන් දේශයේ විදේශිකයකු සේ කල් ගෙවී ය. එහිදී ඔහු පුතුන් දෙදෙනකු ලැබී ය.</verse>
				<verse number="30">“ඉන් හතළිස් වසරක් ගෙවුණු පසු, සීනයි කන්ද අසල පාළුකරයේ ගිනි ඇවිළෙන පඳුරක් තුළින් දේව දූතයකු ඔහුට පෙනුණි.</verse>
				<verse number="31">ඒ දැකුමෙන් විස්මිත වූ මෝසෙස් වඩා හොඳින් එය නරඹන පිණිස, ඒ අසලටම ගියේ ය. එවිට, ස්වාමින්වහන්සේගේ කටහඬ ඔහුට ඇසිණි.</verse>
				<verse number="32">‘ඔබේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද යාකොබ්ගේ ද දෙවියන්වහන්සේ මම ය.’ මෝසෙස් වෙවුලන්නට වී, තවත් ඒ දෙස බලන්නටත් බය විය.</verse>
				<verse number="33">“එවිට ස්වාමින්වහන්සේ, ‘ඔබේ පාවහන් ගලවනු; මන්ද ඔබ සිටිනා තැන ශුද්ධ භූමියකි.</verse>
				<verse number="34">මගේ ජනයා ඊජිප්තුවේ විඳින හිංසා-පීඩා සැබවින් මම දුටිමි; ඔවුන්ගේ සුසුම් ලෑම ඇසීමි; එබැවින් ඔවුන් ගලවනු පිණිස බැස ආවෙමි. එන්න! මම ආපසු ඊජිප්තුවට ඔබ යවන්නෙමි’ යි කී සේක.</verse>
				<verse number="35">“වරක්, ‘අපේ පාලකයා හා විනිශ්චයකාරයා කොට නුඹ පත් කර එවුවේ කවුරු ද?’ කියමින් ඔවුන් ප්‍රතික්ෂේප කරන ලද්දේ මේ මෝසෙස්ම ය. පඳුර තුළ ඔහුට පෙනුණු දේව දූතයා මඟින් එම ජනයාගේ පාලකයා හා මිදුම්කරුවා කොට දෙවියන්වහන්සේ විසින් යවන ලද්දේ මොහුම ය.</verse>
				<verse number="36">ඊජිප්තුවෙන් පිටතට ඔවුන් ගෙන ආ ඔහු ඊජිප්තුවේදීත්, රතු මුහුදේදීත්, පුරා හතළිස් වසරක් තුළ පාළුකරයේදීත් හාස්කම් ද අනුහස් ලකුණු ද පෑවේ ය.</verse>
				<verse number="37">“ ‘මා හා සමාන දිවැසිවරයකු ඔබේම ජනයා අතරින් දෙවියන්වහන්සේ ඔබ වෙත එවන සේකැ’ යි ඉශ්‍රායෙල් ජනතාවට කීවේත් මේ මෝසෙස් ය.</verse>
				<verse number="38">කාන්තාරයේ සභාවේත්, සීනයි කන්දේදී තමා හා කතා කළ දේව දූතයා සමඟත්, අපේ පියවරුන් සමඟත් සිටියේ මොහු ය. අපට බාර දෙනු පිණිස ජීවනයේ වදන් ලැබුණේත් ඔහුට ය.</verse>
				<verse number="39">“එහෙත් අපේ පියවරු ඔහුට අවනත වීම ප්‍රතික්ෂේප කර, ඔහු පසෙකට කර, තම හදවත් ඊජිප්තුව දෙසට හැරවූහ.</verse>
				<verse number="40">ඔවුහු ආරොන්ට කතා කොට, ‘අපේ පෙරමුණ ගැනීමට දෙවිවරුන් සාදන්න. ඊජිප්තුවෙන් පිටතට අප ගෙන ආ ඒ මෝසෙස්, ඔහුට මොනවා වුණාදැයි අප දන්නේ නැතැ’ යි කීහ.</verse>
				<verse number="41">ඔවුන් වස්සකුගේ ස්වරූපයෙන් පිළිමයක් අඹා ගත්තේ එකල්හිදී ය. ඒ ඉදිරියේ යාග පූජා ඔප්පු කළ ඔවුහු තමන්ගේ අත්වල වැඩ ගැන ප්‍රීති වූහ.</verse>
				<verse number="42">එබැවින් දෙවියන්වහන්සේ ඔවුන් වෙතින් ඉවත හැරී, ග්‍රහ-තරු වන්දනාවට ඔවුන් අත්හළ සේක. ඒ ගැන දිවැසිවරුන්ගේ පොතේ මෙසේ සඳහන් වෙයි: “ ‘එම්බා ඉශ්‍රායෙල් වංශය, පුරා හතළිස් වසරක් කාන්තාරයේදී නුඹලා මා වෙත යාග පූජා ගෙන ආවා ද?</verse>
				<verse number="43">නුඹලා ඉහළට එසවූයේ මොලොක්ගේ දෙවොලත්, රෙපාන් දේවතා තරුවත් යන නුඹලාම තනා ගත් පිළිමත් ය. එබැවින් මම, බබිලෝනියෙනුත් එපිටට නුඹලා පිට මං කරමි.’</verse>
				<verse number="44">“කාන්තාරයේදී අපේ පියවරුන් සමඟ සාක්ෂි මණ්ඩපය තිබිණි. එය සාදා තිබුණේ මෝස‍ෙස්ට කතා කළ තැනැන්වහන්සේ පෙන්වූ පරිදි ඔහු දුටු ආකෘතියට අනුව ය.</verse>
				<verse number="45">එම මණ්ඩපය ලද අපේ පියවරු, දෙවියන්වහන්සේ විසින් පලවා හරින ලද ජාතීන්ගේ මේ දේශය හිමි කර ගත් විටත්, යෝෂුවා යටතේ එය මෙහි ගෙන ආහ. දාවිත්ගේ දවස දක්වාත් එය දේශයේ තිබිණි.</verse>
				<verse number="46">දෙවියන්වහන්සේගේ ප්‍රසාදය දිනූ දාවිත්, යාකොබ්ගේ දෙවියන්වහන්සේට වාසස්ථානයක් තැනීමට ඉල්ලුවේ ය.</verse>
				<verse number="47">එහෙත් උන්වහන්සේට ගෘහයක් සෑදුවේ සලමොන් ය.</verse>
				<verse number="48">“එසේ වුව ද මහෝත්තමයාණෝ මිනිස් අතින් නිම වූ ගෘහවල නො වසන සේක. දිවැසිවරයා ඒ ගැන සඳහන් කරන්නේ:</verse>
				<verse number="49">“ ‘ස්වර්ගය මාගේ සිංහාසනයයි; පොළොව මාගේ පා පුටුවයි. මා උදෙසා ඔබ තනන්නේ කෙබඳු ගෘහයක් දැයි? ස්වාමින්වහන්සේ පවසන සේක. නො එසේ නම් මට විවේකාගාරය වන්නේ කොතැන ද?</verse>
				<verse number="50">මේ හැම මා අතින් මැවුණා නො වේ ද?’</verse>
				<verse number="51">“මිථ්‍යාදෘෂ්ටික සිත් හා කන් ඇති මුරණ්ඩු ජනයිනි! නුඹලා නුඹලාගේ පියවරුන් වගේම ය. නුඹලා හැම විට ශුද්ධාත්මයාණන්ට හරස්වන්නහු ය.</verse>
				<verse number="52">නුඹලාගේ පියවරුන් පීඩා නො කළ එක් දිවැසිවරයකු හෝ සිටියේ ද? ධර්මිෂ්ඨයාණන්ගේ පැමිණීම ගැන අනාවැකි කී අය පවා, ඔවුහු මරා දැමූහ. දැන් නුඹලා උන්වහන්සේ පාවා දී, මරා දමා ඇත.</verse>
				<verse number="53">දේව දූතයින්ගේ මැදිහත්කමින් දහම් නීතිය ලද්දෝ නුඹලාම වුවත්, නුඹලා ඒවා පිළිපැද්දේ නැත.”</verse>
				<verse number="54">ඒ ඇසූ ඔවුහු කෝපාවිෂ්ට ව ඔහුට එරෙහිව දත්මිටි කන්නට වූහ.</verse>
				<verse number="55">එහෙත් ස්තේපන් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව, ස්වර්ගය දෙස ඉහළ බැලූ කල, දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය ද දෙවියන්වහන්සේගේ දකුණු පස යේසුස්වහන්සේ සිටගෙන සිටිනු ද දැක,</verse>
				<verse number="56">“අන්න! ස්වර්ගයේ දොරටු ඇරී තිබේ. මනුෂ්‍ය පුත්‍රයාණෝ දෙවියන්වහන්සේගේ දකුණු පස සිටගෙන සිටිනු මට පෙනේ” යි කීවේ ය.</verse>
				<verse number="57">එවිට තම කන්වල ඇඟිලි ගසා ගත් ඔවුහු, යටි ගිරියෙන් බෙරිහන් දෙමින්, සැවොම එකට දුව ගොස් ස්තේපන් පිටට පැන,</verse>
				<verse number="58">නගරයෙන් පිටතට ඔහු ඇදගෙන ගොස්, ඔහුට ගල් ගැසූහ. සාක්ෂිකරුවෝ තම වස්ත්‍ර සාවුල් නම් වූ තරුණයකු භාරයේ තැබූහ.</verse>
				<verse number="59">ඔවුන් එසේ ගල් ගසද්දී ස්තේපන්, “යේසුස් ස්වාමිනි, මා ආත්මය බාරගත මැනවි” යි යාච්ඤා කළේ ය.</verse>
				<verse number="60">ඉන්පසු දණින් වැටුණු ඔහු, “ස්වාමිනි, මේ පාපය මොවුන් පිට නො තැබුව මැනව” යි මහ හඬින් පැවසී ය. එසේ පැවසූ ඔහු සැතපුණේ ය.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">ඔහු මරා දැමීම අනුමත කරමින්, සාවුල් ද එහි සිටියේ ය. ඒ දවසේම යෙරුසලම් සභාවට එරෙහි දරුණු වධ හිංසනයක් පැන නැගිණි. අපෝස්තුලුවරුන් හැර අන් සියල්ලෝ යුදය හා සමාරිය යන පෙදෙස් පුරා විසිරවන ලදහ.</verse>
				<verse number="2">භක්තිවන්ත මනුෂ්‍යයෝ ස්තේපන් භූමදාන කර, ඔහු ගැන බෙහෙවින් ශෝක වූහ.</verse>
				<verse number="3">එහෙත් සාවුල් ගෙයක් ගෙයක් පාසා යමින්, පුරුෂයින් මෙන්ම ස්ත්‍රීන් ද අල්ලා, සිර ගෙදරට බාර දෙමින් සභාව විනාශ කරන්නට වන්නේ ය.</verse>
				<verse number="4">විසිරවනු ලැබූවෝ ගිය ගිය තැන්හි ශුභාරංචිය දේශනා කළහ.</verse>
				<verse number="5">සමාරියේ නගරයකට ගිය පිලිප්, එහි ජනයාට ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කළේ ය.</verse>
				<verse number="6">පිලිප් කී දෑ ඇසූ, ඔහු කළ හාස්කම් දුටු සමූහයා, ඔහු පැවසූ දෑට එකාවන්ව අවධානය යොමු කළහ.</verse>
				<verse number="7">මර හඬ නගමින්, අශුද්ධාත්ම ඔවුන් ආවේශ ව සිටි බොහෝ දෙනකුගෙන් දුරුව ගියහ. අංසබාග රෝගීහු ද කොරු ද බොහෝ දෙනෙක් සුව කරන ලදහ.</verse>
				<verse number="8">එබැවින් ඒ නගරයේ මහා ප්‍රීතියක් හට ගැනිණි.</verse>
				<verse number="9">කලක් මන්තර විජ්ජා මඟින් මුළු සමාරි ජනයා විස්මපත් කළ සීමොන් නම් මිනිසෙක් මේ නගරයේ විසී ය. තමා මහ උත්තමයෙකැයි ඔහු තමන් ගැනම පුරසාරම් දෙඩී ය.</verse>
				<verse number="10">ඒ නගරයේ විසූ උස් පහත් සැවොම ඔහුට ගරු සැලකිලි දක්වමින්, “ ‘ප්‍රභූ’ නම් දෙවියන්ගේ බලය මොහුයැ” යි පැවසූහ.</verse>
				<verse number="11">ඔවුන්, ඔහුට ගරු සැලකිලි දැක්වූයේ බොහෝ කලක්ම මන්තර විජ්ජා මඟින් ඔහු ජනයා පුදුමයට පත් කළ බැවිනි.</verse>
				<verse number="12">එහෙත් පිලිප් දෙවියන්වහන්සේගේ රාජ්‍යය හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය ගැන ශුභාරංචිය දේශනා කළ විට, ඔවුහු ඔහු විශ්වාස කළහ; ගැහැණු-පිරිමි දෙගොල්ලම බව්තීස්ම කරන ලදහ.</verse>
				<verse number="13">සීමොන් ද විශ්වාස කර, බව්තීස්ම කරනු ලැබී ය. පිලිප් යන යන තැන ඔහු පසුපස ගිය හෙතෙම, පිලිප් දැක්වූ බලවත් ලකුණු හා හාස්කම් දකිමින් විස්මපත් වූයේ ය.</verse>
				<verse number="14">සමාරියයන් දෙවියන්වහන්සේගේ වචනය පිළිගත් වග, යෙරුසලමේ අපෝස්තුලුවරුනට සැල වූ කල, ඔවුහු පේතෘස් හා යොහන් ඔවුන් වෙත පිටත් කළහ.</verse>
				<verse number="15">එහි පැමිණි ඔවුහු ශුද්ධාත්මයාණන් ලැබෙන ලෙස ඔවුන් උදෙසා යාච්ඤා කළහ.</verse>
				<verse number="16">මන්ද ඒ වන තුරු, ඒ කිසිවකු පිට ශුද්ධාත්මයාණන් පහළ වී තිබුණේ නැති බැවිනි. ඔවුන් යේසුස් ස්වාමින්වහන්සේගේ නාමයෙන් බව්තීස්ම ලැබ සිටියා පමණි.</verse>
				<verse number="17">ඔවුහු ඔවුන් පිට අත් තැබූ කල්හි, ඔවුහු ශුද්ධාත්මයාණන් ලදහ.</verse>
				<verse number="18">ඔවුන්ට ආත්මයාණන් දෙන ලද්දේ අපෝස්තුලුවරුන්ගේ අත් තැබීමෙන් බව දුටු සීමොන්, ඔවුන්ට මුදල් පාමින්,</verse>
				<verse number="19">“මා යමකු පිට අත් තැබූ කල්හි ඔහුට ශුද්ධාත්මයාණන් ලැබෙන ලෙස මටත් ඔය බලය පවරන්නැ” යි ඉල්ලී ය.</verse>
				<verse number="20">එවිට පේතෘස් පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේගේ දීමනාව මුදලට ගත හැකියයි සිතූ නිසා, නුඹත් සමඟ නුඹේ මුදල් විනාශ වේවා!</verse>
				<verse number="21">මේ සම්බන්ධ කිසි අයිතියක් හෝ පංගුකාරකමක් නුඹට නැත. මන්ද ඔබේ හදවත දෙවියන්වහන්සේ ඉදිරියේ හරි නැත.</verse>
				<verse number="22">එබැවින් ඔබේ ඔය දුෂ්ටකම ගැන පසුතැවිලි වී, ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්න. සමහර විට උන්වහන්සේ ඔබේ හදවතේ උපන් සිතිවිල්ලට කමා වනු ඇත.</verse>
				<verse number="23">මන්ද ඔබ තදබල තික්තකමින් පිරී, පාපයට ගොදුරක්ව සිටිනු මට පෙනේ යැ” යි කීවේ ය.</verse>
				<verse number="24">“ඔබ කී කිසිවක් මට සිදු නො වන පිණිස, මා උදෙසා ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්නැ” යි සීමොන් ඔවුන්ගෙන් ඉල්ලී ය.</verse>
				<verse number="25">සාක්ෂි දරමින් ස්වාමින්වහන්සේගේ වචනය ප්‍රකාශ කළ පේතෘස් හා යොහන් ආපසු එන ගමනේදී, තවත් සමාරි ගම්මාන බොහොමයක ශුභාරංචිය දේශනා කරමින් යෙරුසලමට ආපසු ආහ.</verse>
				<verse number="26">ස්වාමින්වහන්සේගේ දූතයෙක් පිලිප්ට කතා කොට, “නැගිට, දකුණු දෙසට, යෙරුසලමේ සිට ගාසා දක්වා දිවෙන මාවතට යන්නැ” යි කීවේ ය. එය කාන්තාර මාවතකි.</verse>
				<verse number="27">පිලිප් ඒ අනුව පිටත් විය. එසේ ගමන් ගනිද්දී, ඉතියෝපියානු නපුංසකයෙක් ඔහුට මුණ ගැසිණි. ඉතියෝපියානු කන්දකී රැජිනගේ සියලු ධන නිධානයන්හි භාරකාරත්වය ඉසිලූ මෙම රාජ්‍ය නිලධාරියා නමස්කාර කරන පිණිස යෙරුසලමට ගොස්,</verse>
				<verse number="28">ආපසු ගම-රට බලා යමින් සිටියේ ය. මේ අවස්ථාවේ ඔහු සිටියේ තම රථයේ හිඳ, දිවැසිවර යෙසායාගේ ශුද්ධ ලියවිල්ල කියවමින් ය.</verse>
				<verse number="29">“ඒ රථය වෙත ගොස් එක් වන්නැ” යි පිලිප්ට ශුද්ධාත්මයාණෝ පැවසූ සේක.</verse>
				<verse number="30">එවිට රථය ළඟට දිවූ පිලිප්ට ඒ මිනිසා දිවැසිවර යෙසායාගේ ලියවිල්ලෙන් කියවනවා ඇසිණි. “ඔබ කියවන දේ ඔබට වැටහෙනවා දැ?” යි පිලිප් ඔහුගෙන් ඇසී ය.</verse>
				<verse number="31">“කවුරු හරි තේරුම් කර දුන්නොත් මිසක මා තේරුම් ගන්නේ කොහොම දැ?” යි පිළිතුරු දුන් හෙතෙම, රථයට නැගී තමන් හා අසුන් ගන්නා ලෙස පිලිප්ට ඇරියුම් කළේ ය.</verse>
				<verse number="32">ඔහු කියවමින් සිටි ශුද්ධ ලියවිලි පාඨය නම්: “මරන්නට ගෙන යන බැටළුවකු විලස, ලොම් කපන්නන් අබියස බැටළු පැටවකු නිහඬව සිටින විලස, එතුමන් තම මුව විවර කළේ නැත.</verse>
				<verse number="33">එතුමන්ගේ යටහත් පහත්වීමේදී යුක්තිය එතුමන්ට අහිමි කෙරිණි; එතුමන්ගේ පෙළපත ගැන කවරකුට කිව හැකි ද? මන්ද එතුමන්ගේ ජීවිතය පොළොවෙන් පහ කරනු ලැබිණ.”</verse>
				<verse number="34">නපුංසකයා පිලිප් අමතමින්, “දිවැසිවරයා මේ පවසන්නේ කවුරුන් ගැන ද? තමා ගැන ද? නැතිනම් වෙනත් කෙනකු ගැනදැයි මට කියන්නැ” යි පැවසී ය.</verse>
				<verse number="35">එවිට එම ශුද්ධ ලියවිලි වැකියෙන් තම කතාව ඇරඹූ පිලිප්, යේසුස්වහන්සේ පිළිබඳ ශුභාරංචිය ඔහුට පැවසී ය.</verse>
				<verse number="36">ඔවුන් මෙසේ යද්දී, මග අසල ජලය තිබූ තැනකට ඔවුහු ළඟා වූහ. එකල, “මෙන්න ජලය! බව්තීස්මය ලබන්නට මට බාධාවක් තියේ දැ?” යි නපුංසකයා ඇසී ය.</verse>
				<verse number="37">පිලිප් කතා කොට, “ඔබේ මුළු සිතින්ම අදහන්නේ නම් ඔබට පුළුවනැ” යි කීවේ ය. නපුංසකයා පිළිතුරු දෙමින්, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බව මම විශ්වාස කරමි” යි පැවසී ය.</verse>
				<verse number="38">ඔහු රථය නවතන්නට අණ කළේ ය. එවිට පිලිප් හා නපුංසකයා දියට බැස්සහ; පිලිප් ඔහු බව්තීස්ම කළේ ය.</verse>
				<verse number="39">ඔවුන් දියෙන් ගොඩ ආ කල, ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ හදිසියේම පිලිප් වෙනතක ගෙන ගිය සේක. නපුංසක නිලධාරියාට තවත් පිලිප් දක්නට ලැබුණේ නැතත්, ඔහු ප්‍රීතියෙන් යුතුව තම ගමන ගියේ ය.</verse>
				<verse number="40">ඉන්පසු පිලිප් දක්නට ලැබුණේ අසෝතස්හි දී ය. එතැන් සිට කායිසාරියට පැමිණෙන තෙක්, හමු වූ සියලු නගරයන්හි ශුභාරංචිය දේශනා කරමින් ඔහු ගමන් ගත්තේ ය.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">මේ අතර සාවුල් තවදුරටත් ස්වාමින්වහන්සේගේ ගෝලයින්ට එරෙහිව මරණ තර්ජන කරමින් හැසුරුණේ ය. ඔහු උත්තම පූජකයා වෙත ගොස්,</verse>
				<verse number="2">දමස්කයේ මෙම ධර්ම-මාර්ගයට අයත් ස්ත්‍රී පුරුෂයින් හමු වුවහොත්, ඔවුන් සිරබාරයට ගෙන, යෙරුසලමට ගෙනෙනු පිණිස, දමස්කයේ සිනගෝග වෙත ලිපි ඉල්ලා ගත්තේ ය.</verse>
				<verse number="3">මෙසේ යන ගමනේ ඔහු දමස්කය නගරයට ආසන්න වෙත්ම, එක්වරම අහසින් විහිදුණු ආලෝක ධාරාවක් ඔහු වටා ලෙළ දුන්නේ ය.</verse>
				<verse number="4">ඔහු බිම පතිත විය. එවිට, “සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්දැ?” යි පවසන කටහඬක් ඔහුට ඇසිණි.</verse>
				<verse number="5">“ස්වාමිනි, ඔබතුමා කවුරු දැ?” යි ඔහු ඇසී ය. “ඔබ විසින් වධ හිංසා කරනු ලබන යේසුස් මම යැ” යි පැවසූ උන්වහන්සේ,</verse>
				<verse number="6">“දැන් නැගිට පුරවරයට යන්න. ඔබ විසින් කළ යුතු දෑ එහිදී ඔබට දන්වනු ඇතැ” යි පැවසූහ.</verse>
				<verse number="7">සාවුල් හා ගමන් ගත් මිනිස්සු කතා කර ගත නො හැකිව බලා සිටියහ. ඒ කටහඬ ඔවුන්ට ඇසුණ නමුදු, කිසිවකුත් දකින්නට නො වීය.</verse>
				<verse number="8">සාවුල් බිමින් නැගිට්ටේ ය. ඔහු ඇස් ඇරිය නමුත් කිසිවක් ඔහුට පෙනුණේ නැත. එනිසා ඔවුහු ඔහුගේ අතින් අල්ලාගෙන, දමස්කය වෙත ගෙන ගියහ.</verse>
				<verse number="9">දවස් තුනක් අන්ධව සිටි ඔහු කිසිවක් කෑවේවත්, බීවේවත් නැත.</verse>
				<verse number="10">දමස්කයේ අනනියස් නම් ගෝලයෙක් සිටියේ ය. ස්වාමින්වහන්සේ දර්ශනයකින් ඔහු අමතමින්, “අනනියස්” යයි කී සේක. “එසේය ස්වාමිනි” යි ඔහු පිළිතුරු දුන්නේ ය.</verse>
				<verse number="11">එවිට ස්වාමින්වහන්සේ, “යන්න! සෘජු නම් වූ වීදියේ යූදස්ගේ ගෙදරට ගොස්, තාර්සස් සිට පැමිණි සාවුල් නැමැත්තා ගැන විමසන්න. අන්න! ඔහු යාච්ඤා කරමින් සිටී.</verse>
				<verse number="12">අනනියස් නැමැත්තෙක් තමන් වෙත අවුත්, නැවත පෙනීම ලැබෙන පිණිස, තමන් මත අත් තබනු ඔහු දර්ශනයකින් දුටුවේ යැ” යි ඔහුට පැවසූ සේක.</verse>
				<verse number="13">අනනියස් පිළිතුරු දෙමින්, “ස්වාමිනි, ඔබගේ ශුද්ධවතුන්ට යෙරුසලමේදී මේ මිනිසා කළ වින්නැහිය ගැන බොහෝ දෙනකුගෙන් මා අසා තියෙනවා.</verse>
				<verse number="14">ඔහු මෙහි ඇවිත් සිටින්නේ, ඔබගේ නාමයෙන් අයදින්නන් සිරබාරයට ගැනීමට නායක පූජකයින්ගේ බලතල ඇතිව යැ” යි පැවසී ය.</verse>
				<verse number="15">එහෙත් ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “යන්න! මේ මනුෂ්‍යයා අන්‍ය-ජාතීන් ද රජුන් ද ඉශ්‍රායෙල් ජනයා ද වෙත මාගේ නාමය ගෙන යෑමට තෝරා ගන්නා ලද මාගේ උපකරණයකි;</verse>
				<verse number="16">මාගේ නාමය උදෙසා ඔහු කොතරම් විඳවිය යුතුදැයි මම ඔහුට පෙන්වා දෙන්නෙමි” යි කී සේක.</verse>
				<verse number="17">එබැවින් අනනියස් පිටත්ව, ඒ නිවසට පිවිස, සාවුල් මත අත් තබා, “සහෝදර සාවුල්, ඔබ මෙහි එද්දී, මාවතේදී ඔබට පෙනුණු යේසුස් ස්වාමින්වහන්සේ මා මෙහි එවුවේ ඔබට නැවත පෙනීම ලැබෙන පිණිසත්, ශුද්ධාත්මයාණන්ගෙන් ඔබ පූර්ණ වන පිණිසත්” යයි කීවේ ය.</verse>
				<verse number="18">එසැණේම සාවුල්ගේ දෙනෙතින් කොරපොතු වැනි යමක් වැටිණි; යළිත් ඔහුට පෙනීම ලැබිණි. ඔහු නැගිට්ටේ ය; බව්තීස්ම කරනු ලැබුවේ ය.</verse>
				<verse number="19">අනතුරුව ආහාර ගත් හෙතෙම යළි සවිමත් විය. සාවුල් දමස්කයේ සිටි ගෝලයින් සමඟ දින කිහිපයක් ගත කළේ ය.</verse>
				<verse number="20">කල් නො යවා දමස්කයේ සිනගෝගවලදී යේසුස්වහන්සේ දේශනා කළ සාවුල්, “උන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා යැ” යි ප්‍රකාශ කරන්නට වන්නේ ය.</verse>
				<verse number="21">ඔහු එලෙස කතා කරනු ඇසූ සියල්ලෝ මවිත වී, “මේ නාමයට හඬගසන්නන්ට යෙරුසලමේදී මහ විනාශයක් කළේ මේ මිනිහා නො වේ ද? මොහු මෙහි ආවේත්, ඔවුන් සිරබාරයට ගෙන, නායක පූජකයින් වෙත ගෙන යෑමට නො වේ දැ?” යි ඇසූහ.</verse>
				<verse number="22">එහෙත් සාවුල්, කතාවේ වඩ වඩා බලවත් වෙමින්, යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේම වග සනාථ කරමින් දමස්කයේ විසූ යුදෙව්වන් නිරුත්තර කළේ ය.</verse>
				<verse number="23">මෙසේ කලක් ගත වූ පසු සාවුල් මරා දැමීමට යුදෙව්වෝ කුමන්ත්‍රණ කළහ.</verse>
				<verse number="24">එසේ වුව ද ඔවුන්ගේ උපාය මාර්ගය සාවුල්ට දැනගන්නට ලැබිණි. ඔහු මරා දැමීමේ අදහසින් ඔවුහු දිවා රෑ දෙක්හි නගර දොරටු රැක සිටියහ.</verse>
				<verse number="25">එහෙත් ඔහුගේ ගෝලයෝ, රැයෙක ලොකු කූඩයක සාවුල් හිඳුවා, නගර පවුරේ වූ කපොල්ලක් තුළින් නගරයෙන් පිටතට ඔහු බැස්සූහ.</verse>
				<verse number="26">යෙරුසලමට පැමිණි සාවුල් එහි ගෝලයින් සමඟ එක් වන්නට උත්සාහ ගත්තේ ය. එහෙත් ඔහු සැබෑ ලෙසම ගෝලයෙකැයි විශ්වාස නො කළ ඔවුහු ඔහු ගැන බය වූහ.</verse>
				<verse number="27">එහෙත් බාර්ණබස් අපෝස්තුලුවරුන් වෙත ඔහු කැඳවාගෙන ගොස්, සාවුල්ගේ ගමනේදී ඔහු ස්වාමින්වහන්සේ දුටු අයුරුත්, ස්වාමින්වහන්සේ ඔහුට කතා කළ අයුරුත්, දමස්කයේදී යේසුස්වහන්සේගේ නාමයෙන් ඔහු අභීතව දේශනා කළ අයුරුත් විස්තර කළේ ය.</verse>
				<verse number="28">මෙසේ ඔවුන් සමඟ නැවතුණු සාවුල්, ස්වාමින්වහන්සේගේ නාමයෙන් අභීතව දේශනා කරමින්, යෙරුසලමේ නිදහසේ සැරි සැරී ය.</verse>
				<verse number="29">ඔහු ග්‍රීක් කතා කළ යුදෙව්වන් හා සාකච්ඡා කළේ ය; වාද කළේ ය. එහෙත් ඔවුහු, ඔහු මරා දමන්නට මං සෙවූහ.</verse>
				<verse number="30">ඒ වග දැනගත් සහෝදරයෝ කායිසාරිය වෙත ඔහු කැඳවාගෙන අවුත්, තාර්සස් වෙත ඔහු පිටත් කර යැවූහ.</verse>
				<verse number="31">මුළු යුදය, ගලීලය හා සමාරිය යන පෙදෙස් පුරා සභාවට සාමකාමී කාලයක් උදා විණි. සභාව ශුද්ධාත්මයාණන්ගේ අනුබලය ලබමින්, ස්වාමින්වහන්සේ වෙත බය භක්තියෙන් ද ගණනින් වැඩෙමින් ද ගොඩ නැගුණේ ය.</verse>
				<verse number="32">පේතෘස්, එක් එක් තැන්හි සංචාරය කරමින් ලිද්දාහි ශුද්ධවන්තයින් බැහැදැක්මට ගියේ ය.</verse>
				<verse number="33">අට අවුරුද්දක් අංසබාගයෙන් ඔත්පළව හුන් අයිනෙයස් නම් මිනිසෙක් එහිදී ඔහුට හමු විය.</verse>
				<verse number="34">පේතෘස් ඔහු අමතමින්, “අයිනෙයස්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබ සුව කරන සේක; නැගිටින්න! ඔබේ පැදුර අකුළා තබන්නැ” යි කීවේ ය. එකෙණෙහිම ඔහු නැගී සිටියේ ය.</verse>
				<verse number="35">ලිද්දාහි හා ෂාරොන්හි විසූ සියල්ලෝ ඔහු දැකීමෙන් ස්වාමින්වහන්සේ වෙත හැරුණහ.</verse>
				<verse number="36">දොර්කස් හෙවත් මුව දෙන යන අරුතැති තබීතා නම් ඇදහිලිවන්තියක් යොප්පාහි විසුවා ය. යහපත් ක්‍රියා කිරීමේ ද දුප්පතුන්ට උපකාර කිරීමේ ද නියැළුණු ඕ,</verse>
				<verse number="37">එදවස්හි රෝගීව, මළා ය. ඇගේ මිනිය නාවා, උඩු මහල් කාමරයක තබනු ලැබී ය.</verse>
				<verse number="38">යොප්පා, ලිද්දාවට නුදුරු බැවින් පේතෘස් ලිද්දාවේ සිටින බව ඇසූ යොප්පාවේ ගෝලයෝ, “කරුණාකර හනික අප වෙත එන්නැ” යි ඉල්ලමින් දෙදෙනකු අත ඔහුට පණිවුඩ යැවූහ.</verse>
				<verse number="39">පේතෘස් නැගිට, ඔවුන් සමඟ පිටත් වුණේ ය. ඔහු එහි පැමිණි කල ඔවුහු උඩු මහලට ඔහු කැඳවාගෙන ගියහ. සියලු වැන්දඹු ස්ත්‍රීහු හඬ හඬා, දොර්කස් ඔවුන් සමඟ ජීවත්ව සිටියදී, නිම කර තිබූ සැට්ට කබා හා අනිකුත් ඇඳුම් පෙන්වමින් ඔහු වටා සිටගත්හ.</verse>
				<verse number="40">එහෙත් ඔවුන් සියලු දෙනා කාමරයෙන් පිට මං කළ පේතෘස්, දණින් හිඳ, යාච්ඤා කළේ ය. ඉන්පසු මළ තැනැත්තිය දෙසට හැරී, “තබීතා නැගිටිනු” යි කී ය. ඕ ඇස් ඇරියා ය. එකල පේතෘස් දුටු ඕ, නැගිට හිඳ ගත්තා ය.</verse>
				<verse number="41">ඔහු ඇයට අත දී, සිටගන්නට සලසා, ඉන්පසු ශුද්ධවතුන් හා වැන්දඹුවන් කැඳවා, ජීවත් වන තබීතා ඔවුන්ට බාර කළේ ය.</verse>
				<verse number="42">මෙපුවත මුළු යොප්පාව පුරා පැතිර ගියෙන්, බොහෝ දෙනෙක් ස්වාමින්වහන්සේ අදහා ගත්හ.</verse>
				<verse number="43">පේතෘස් දවස් කීපයක් සම් පදම් කරන්නකු වූ සීමොන් සමඟ යොප්පාහි නතරව සිටියේ ය.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">ඉතාලි රෙජිමේන්තුව නම් ලත් හමුදා ඒකකයේ සියයේ සේනාංකයක සෙන්පති වූ කොර්නේලියස් නැමැත්තෙක් කායිසාරියේ විසී ය.</verse>
				<verse number="2">ඔහු ද ඔහුගේ ගෙයි වැසි සියල්ලෝම ද දේව භයින් යුතු බැතිමත්හු වූහ. නැති බැරිවුනට ත්‍යාගශීලීව උදවු කළ ඔහු නිරතුරු දෙවියන්වහන්සේට යාච්ඤා කළ කෙනෙකි.</verse>
				<verse number="3">දිනක් නව වන පැයේ පමණ ඔහු දර්ශනයක් දුටුවේ ය. දෙවියන්වහන්සේගේ දූතයකු පැමිණ, “කොර්නේලියස්” යයි තමන් අමතනු ඔහු පැහැදිලිව දැක්කේ ය.</verse>
				<verse number="4">කොර්නේලියස් බියෙන් දෑස් දල්වා බලා, “කිමෙක් ද ස්වාමිනි?” යි ඇසී ය. එවිට දේව දූතයා පිළිතුරු දෙමින්, “ඔබගේ යාච්ඤා හා දාන දෙවියන්වහන්සේ ඉදිරියට සමරුවක් සේ නැගී ඇත;</verse>
				<verse number="5">එබැවින් දැන් යොප්පා වෙත පණිවුඩ යවා, පේතෘස් නමින් හැඳින්වෙන සීමොන් නැමැත්තා කැඳවන්න.</verse>
				<verse number="6">ඔහු මුහුද අද්දර සම් පදම් කරන සීමොන්ගේ නිවසේ නැවතී සිටිතැ” යි පැවසී ය.</verse>
				<verse number="7">තමන්ට කතා කළ දේව දූතයා පිටත්ව ගිය පසු, තම සේවකයින් දෙදෙනකු ද තම උපස්ථායකු වූ භක්තිවන්ත භටයකු ද කැඳවූ කොර්නේලියස්,</verse>
				<verse number="8">සිදු වූ සියලු පුවත් ඔවුනට පවසා, යොප්පා වෙත ඔවුන් පිටත් කර යැවී ය.</verse>
				<verse number="9">පසු දින ඔවුන් පුරවරයට ළඟා වන කල, සවැනි පැයේදී පමණ පේතෘස් යාච්ඤා කරන්නට නිවසේ පියස්සට නැගුණේ ය.</verse>
				<verse number="10">ඔහුට කුසගිනි දැනිණි. එබැවින් අහරට යමක් ඕනෑ විය. එහෙත් අහර පිළියෙල වන අතරේ ඔහු දැහැනකට වැටිණි.</verse>
				<verse number="11">එවිට අහස විවරව, විශාල රුවල් රෙද්දක් වැනි යමක් එහි සිවු කොනින් පොළොවට පහත් කරනු ඔහු දුටුවේ ය.</verse>
				<verse number="12">සියලු වර්ගයේ සිවුපාවුන්, පොළොවේ උරගයින් හා අහස් පක්ෂීහු එහි වූහ.</verse>
				<verse number="13">එවිට “පේතෘස් නැගිට, මරා කන්නැ” යි කියන කටහඬක් ඔහුට ඇසිණි.</verse>
				<verse number="14">පේතෘස් පිළිතුරු දෙමින්, “නෑ ස්වාමිනි! අකැප, අපවිත්‍ර කිසිවක් මා කිසි කලෙක කෑවේ නැතැ” යි කීවේ ය.</verse>
				<verse number="15">එම කටහඬ දෙවන වරට ඔහු අමතමින්, “දෙවියන්වහන්සේ පවිත්‍ර කළ කිසිවක් අකැපය කියා නො කියන්නැ” යි පැවසී ය.</verse>
				<verse number="16">තුන් වතාවක්ම එසේ සිදු විණි. ඉන්පසු එක්වනම එය අහසට ඇදගනු ලැබිණි.</verse>
				<verse number="17">තමා දුටු ඒ දර්ශනයේ අරුත කිමෙක්දැයි නො වැටහී, පේතෘස් කල්පනා කරමින් සිටියදී මෙන්න! කොර්නේලියස් වෙතින් පැමිණි පණිවුඩකරුවෝ සීමොන්ගේ නිවස සොයාගෙන ගේ දොරකඩටම අවුත්,</verse>
				<verse number="18">පේතෘස් නමින් හැඳින්වෙන සීමොන් එහි නැවතී ඉන්නවාදැයි උස් හඬින් විමසූහ.</verse>
				<verse number="19">පේතෘස් තමා දුටු දර්ශනය ගැන සිත සිතා සිටියදී, ආත්මයාණන්වහන්සේ ඔහුට කතා කොට, “අන්න, මිනිස්සු තුන් දෙනෙක් ඔබ සොයා ඇවිත්;</verse>
				<verse number="20">නැගිට පහළට බහින්න; ඔවුන් සමඟ යෑමට නො පැකිළෙන්න; මන්ද ඔවුන් එවුවේ මම” යැයි කී සේක.</verse>
				<verse number="21">එබැවින් පහළ බැස, ඒ මිනිසුන් හමුවට ආ පේතෘස්, “ඔබ සොයන තැනැත්තා මමයි. ඔබ ආ කාරණය කිමෙක් දැ?” යි ඇසී ය.</verse>
				<verse number="22">ඔවුහු පිළිතුරු දෙමින්, “අප ආවේ කොර්නේලියස් නම් සියයේ සේනාංක සෙන්පති වෙතින්. ධර්මිෂ්ඨ, දේව භයින් යුතු කෙනෙක් වන ඔහු මුළු යුදෙව් ජනයාගේ ගෞරවය දිනා සිටී. ශුද්ධ දේව දූතයෙක් ඔහුට දර්ශන වී, ඔබ පවසන දෑ අසන පිණිස, ඔහුගේ නිවසට ඔබ කැඳවන ලෙස දන්වා ඇතැ” යි පැවසූහ.</verse>
				<verse number="23">එවිට පේතෘස් තමාගේ අමුත්තන් වශයෙන් ඒ මිනිසුන් ගෙතුළට කැඳවී ය. පසු දා පේතෘස් නැගිට, ඔවුන් සමඟ පිටත් විය. යොප්පාහි සහෝදරයින් කීප දෙනෙක් ද ගමනට එක් වූහ.</verse>
				<verse number="24">පසු දා ඔවුන් කායිසාරියට ළඟා වන විට, ඔවුන්ගේ පැමිණීම බලාපොරොත්තුව, කොර්නේලියස් තම නෑයින් ද හිත මිතුරන් ද තම නිවසට කැඳවා තිබිණ.</verse>
				<verse number="25">පේතෘස් ගෙට ඇතුළු වෙත්ම, ඔහු හමුවට ආ කොර්නේලියස් ඔහුගේ පාමුල වැටී වැන්දේ ය.</verse>
				<verse number="26">එහෙත් පේතෘස්, ඔහු නැගිටුවමින්, “නැගිටින්න; මාත් මනුෂ්‍යයකු පමණ යැ” යි පැවසී ය.</verse>
				<verse number="27">ඔහු සමඟ කතා කරමින්, ගෙතුළට පිවිසි පේතෘස්, මහත් පිරිසක් එහි රැස්ව සිටිනු දුටුවේ ය.</verse>
				<verse number="28">ඔහු ඔවුන් අමතමින්, “යුදෙව්වකුට අන්‍ය-ජාතිකයකු බැහැදැක්ම හෝ සමාගම් පැවැත්වීම අප දහම් නීතියට පටහැනි වග ඔබ හොඳින් දනී. එහෙත් කිසි මිනිසකු අකැපය, අපවිත්‍ර ය කියා මා නො කිව යුතු වග දෙවියන්වහන්සේ මට පෙන්වා දුන්නා.</verse>
				<verse number="29">එබැවින් මා කැඳවා යැවූ කල, පැකිළීමක් නැතිව මා ආවා. දැන් මා ඔබෙන් අහන්නේ, මා කැඳවූ හේතුව කිමෙක් ද කියායි?” ඇසුවේ ය.</verse>
				<verse number="30">කොර්නේලියස් උත්තර දෙමින්, “දවස් හතරකට කලින්, නව වන පැයේ පමණ මේ වෙලාවේ මා නිවසේ යාච්ඤා කරමින් සිටියදී, මෙන්න! එකපාරට දිළිසෙන ඇඳුමින් සැරසුණු කෙනෙක් මා ඉදිරියේ සිටගෙන!</verse>
				<verse number="31">ඔහු කතා කරමින්, ‘කොර්නේලියස්, දෙවියන්වහන්සේ ඔබේ යාච්ඤා ඇසූ සේක; ඔබේ දාන ද සිහි කළ සේක.</verse>
				<verse number="32">පේතෘස් නමින් හඳුන්වන සීමොන් කැඳවා යොප්පා වෙත පණිවුඩ යවන්න. මුහුද අද්දර, සම් පදම් කරන සීමොන්ගේ නිවසේ ඔහු නැවතී සිටී’ යි කීවා.</verse>
				<verse number="33">එබැවින් මා නො පමාව ඔබට පණිවුඩ යැව්වා; ඔබ ආ එක කොතරම් හොඳ ද! ඉඳින් අපට පවසන්නට ස්වාමින්වහන්සේ ඔබට අණ කළ සියල්ල ඇසීමට අප හැමෝම දැන් මෙහි දෙවියන්වහන්සේ ඉදිරියේ සිටිනවා” යි කීවේ ය.</verse>
				<verse number="34">එවිට කතාව ඇරඹූ පේතෘස්, “දෙවියන්වහන්සේ පක්ෂග්‍රාහී නො වන වග, සත්තකින්ම මට දැන් වැටහේ. තවද</verse>
				<verse number="35">උන්වහන්සේට බයව, යුතු දේ කරන කවර ජාතිකයකු වුව ද, උන්වහන්සේ පිළිගන්න සේක.</verse>
				<verse number="36">සියල්ලන්ගේම ස්වාමියාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මඟින් සාමයේ ශුභාරංචි ගෙනෙමින්, දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් ජනයාට දුන් පණිවුඩය ඔබ දනී.</verse>
				<verse number="37">යොහන් දේශනා කළ බව්තීස්මයට පසු, ගලීලයෙන් පටන් ගෙන යුදය මුළුල්ලේ වූ සිදුවීම් ඔබ දනී.</verse>
				<verse number="38">දෙවියන්වහන්සේ, ශුද්ධාත්මයාණන්ගෙන් හා බලයෙන් නාසරෙත්හි යේසුස්වහන්සේ ආලේප කළ හැටිත්, දෙවියන්වහන්සේ උන්වහන්සේ සමඟ සිටි බැවින් යහපත කරමින් හා යක්ෂ බලයට යටවූවන් සුව කරමින් උන්වහන්සේ සැරි සැරූ හැටිත් ඔබ දනී.</verse>
				<verse number="39">“යුදෙව් දේශයේත්, යෙරුසලමේත් උන්වහන්සේ කළ හැම දෙයක් ගැනම සාක්ෂිකරුවෝ අපියි. ඔවුහු ගසක උන්වහන්සේ එල්ලා මරා දැමූහ.</verse>
				<verse number="40">එහෙත් දෙවියන්වහන්සේ තුන් වන දවසේ උන්වහන්සේ නැගිටුවා, දර්ශන වන්නට සැලසූ සේක.</verse>
				<verse number="41">හැම දෙනාටම නො වේ; පෙනුණේ ඒ වන විට දෙවියන්වහන්සේ විසින් තෝරා ගන්නා ලද සාක්ෂිකරුවන්වූත්, උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටි පසු, උන්වහන්සේ සමඟ කෑවාවූ, බීවාවූ අපට ය.</verse>
				<verse number="42">ජීවතුන්ගේ ද මළවුන්ගේ ද විනිසුරුවාණන් වශයෙන් දෙවියන්වහන්සේ විසින් පත් කරන ලද තැනැත්තාණෝ උන්වහන්සේම බවට ජනයාට ප්‍රකාශ කරන්නටත්, සාක්ෂි දරන්නටත් උන්වහන්සේ අපට අණ කළ සේක.</verse>
				<verse number="43">සියලු දිවැසිවරුන් සාක්ෂි දරා ඇත්තේ, උන්වහන්සේ අදහා ගන්නා හැම කෙනකුටම උන්වහන්සේගේ නාමය තුළින් පාප කමාව ලැබෙන වග යැ” යි පැවසී ය.</verse>
				<verse number="44">පේතෘස් මේ වචන පවසමින් සිටියදීම, ඒ වචන අසා සිටි සියල්ලන් වෙත ශුද්ධාත්මයාණෝ පහළ වූ සේක.</verse>
				<verse number="45">පේතෘස් සමඟ පැමිණ සිටි චර්මඡේදිත ඇදහිලිවන්තයින් අන්‍ය-ජාතිකයින් වෙත ද ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව වගුරුවනු ලැබූ වග දැක, විස්මිත වූහ.</verse>
				<verse number="46">මන්ද ඔවුන් අන්‍ය භාෂා කතා කරන හැටිත්, දෙවියන්වහන්සේට ප්‍රශංසා කරනුත් ඔවුන්ට ඇසුණි. එවිට පේතෘස්,</verse>
				<verse number="47">“අප ලැබූ ලෙස ශුද්ධාත්මයාණන් ලබා ඇති මොවුන් වතුරින් බව්තීස්ම කරනු ලැබීම කෙනකුට වැළැක්විය හැකි දැ?” යි පැවසී ය.</verse>
				<verse number="48">යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ඔවුන් බව්තීස්ම කරන්නට එබැවින් ඔහු අණ කළේ ය. කීප දවසක් තමන් හා නැවතී සිටින ලෙස ඔවුහු පේතෘස්ගෙන් ඉල්ලූහ.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">අන්‍ය-ජාතිකයින් ද දෙවියන්වහන්සේගේ වචනය පිළිගැනීමේ පුවත අපෝස්තුලුවරුනට ද යුදය පුරා සිටින සහෝදරයිනට ද සැල විය.</verse>
				<verse number="2">එබැවින් පේතෘස් යෙරුසලමට පෙරළා ආ කල, චර්මඡේදිත ඇදහිලිවත්හු ඔහු විවේචන කරමින්,</verse>
				<verse number="3">“ඔබ චර්ම-අඡේදිත මිනිසුන් වෙත ගොස්, ඔවුන් සමඟ කෑවේ යැ” යි චෝදනා කළහ.</verse>
				<verse number="4">පේතෘස් පිළිතුරු දෙන්නට වී සිදු වූ සියල්ල අනුපිළිවෙලින් පහදමින්,</verse>
				<verse number="5">“යොප්පා නුවරදී මම යාච්ඤා කරමින් සිටියදී, දැහැන් ගතව දර්ශනයක් දුටුවා. විශාල රුවලක් වැනි යමක් එහි සිවු කොනින් අහසේ සිට පහත් කරනු මා දුටුවා. එය මා අසලටම පහත් වුණා.</verse>
				<verse number="6">එකල විපරමින් එදෙස බැලූ මා දුටුවේ පොළොවේ වෙසෙන සීපාවුන්, වන මෘගයින් හා උරගයින් ද අහස් පක්ෂීන් ද එහි සිටින වගයි.</verse>
				<verse number="7">එවිට, ‘පේතෘස් නැගිට, මරා කන්නැ’ යි මා අමතන කටහඬක් මට ඇසුණා.</verse>
				<verse number="8">“එවිට මා, ‘නෑ ස්වාමිනි, අකැප, අපවිත්‍ර කිසිවක් කිසි කලෙක මගේ මුවට ඇතුළු වූයේ නැතැ’ යි කීවා.</verse>
				<verse number="9">“අහසින් මා ඇමතූ කටහඬ දෙවන වරට මා අමතමින්, ‘දෙවියන්වහන්සේ පවිත්‍ර කළ කිසිවක් අකැපය කියා නො කියන්නැ’ යි මට කීවා.</verse>
				<verse number="10">තුන් වතාවක්ම මෙලෙස සිදු වී ඉන්පසු ඒ සියල්ල යළි අහසටම ඇදගැනුනා.</verse>
				<verse number="11">“කායිසාරියේ සිට මා වෙත එවනු ලැබූ මිනිසුන් තිදෙනෙක්, ඔන්න එවෙලේම අප සිටි ගේ දොරකඩටම ඇවිත් නැවතුණා.</verse>
				<verse number="12">‘ඔවුන් සමඟ යෑමට නො පැකිළෙන්නැ’ යි ආත්මයාණන්වහන්සේ මට කීවා. මෙම සහෝදරයින් හයදෙනා ද මා සමඟ ගමනට සහභාගි වුණා. මෙසේ අප ඒ මිනිසාගේ ගෙදරට ඇතුළු වුණා.</verse>
				<verse number="13">එවිට ඔහු තම නිවසේදී දේව දූතයකු තමාට පෙනුන හැටිත්, ‘යොප්පාවට පණිවුඩකරුවන් යවා පේතෘස් නමින් හඳුන්වන සීමොන් කැඳවන්න;</verse>
				<verse number="14">ඔබටත්, ඔබ ගෙයි වැසියන් හැමටත් ගැලවීම සලසන පුවතක් ඔහු ඔබ වෙත ගෙනෙනු ඇතැ’ යි පැවසූ අයුරුත් අපට විස්තර කළා.</verse>
				<verse number="15">“මා ඔවුන්ට කතා කරන්නට පටන් ගනිත්ම, ශුද්ධාත්මයාණන් මුලින් අප වෙත පහළ වූ ලෙස, ඔවුන් වෙත ද පැමිණියා.</verse>
				<verse number="16">එවිට ස්වාමින්වහන්සේ කී දේ මට මතක් වුණා; එනම්, ‘යොහන්, මිනිසුන් බව්තීස්ම කළේ වතුරිනි. එහෙත් ඔබ බව්තීස්මය ලබනු ඇත්තේ ශුද්ධාත්මයාණන්ගෙනි’ යන්නයි.</verse>
				<verse number="17">අප යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ අදහාගත් කල දෙවියන්වහන්සේ අපට දුන් එම දීමනාවම ඔවුන්ටත් දුන් සේක් නම්, දෙවියන්වහන්සේට එරෙහි වීමට මා කවරෙක් දැ?” යි පැවසී ය.</verse>
				<verse number="18">පේතෘස්ගේ එම කතාව ඇසූ පසු, ඔවුන්ගේ විරෝධතා නැවතිණි. “එසේ නම් ජීවනය පිණිස වූ පසුතැවිල්ල දෙවියන්වහන්සේ අන්‍ය-ජාතීන්ටත් අනුමත කළ සේකැ” යි කියමින් ඔවුහු දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ.</verse>
				<verse number="19">ස්තේපන් සම්බන්ධ පීඩාව හේතුවෙන් විසිරවනු ලැබූවෝ යුදෙව්වනට පමණක් වචනය පවසමින්, පිනීකිය, සයිප්‍රස් හා අන්තියෝකිය දක්වා ගමන් කළහ.</verse>
				<verse number="20">එහෙත් සයිප්‍රස් හා සිරේනියා වැසියන් වූ ඔවුන්ගෙන් ඇතමෙක් අන්තියෝකිය වෙත ගොස්, යේසුස් ස්වාමින්වහන්සේ පිළිබඳ ශුභාරංචිය ග්‍රීකයින්ටත් ප්‍රකාශ කළහ.</verse>
				<verse number="21">ස්වාමින්වහන්සේගේ හස්තය ඔවුන් සමඟ වූයෙන්, අදහාගත් ඉතා විශාල ජන-සංඛ්‍යාවක් ස්වාමින්වහන්සේ වෙත හැරුණහ.</verse>
				<verse number="22">මෙම පුවත් යෙරුසලම් සභාවේ සවන් වැකිණි. එබැවින් ඔවුහු අන්තියෝකිය වෙත බාර්ණබස් යැවූහ.</verse>
				<verse number="23">එහි පැමිණි බාර්ණබස්, ඔවුන් වෙත වූ දෙවියන්වහන්සේගේ අනුග්‍රහය දැක ප්‍රමෝදවත්ව, ඔවුන් ධෛර්යවත් කරමින්, තමන්ගේ මුළු හදින් ස්වාමින්වහන්සේට විශ්වාසවන්තව පැවත සිටින ලෙස අවවාද කළේ ය.</verse>
				<verse number="24">බාර්ණබස්, ශුද්ධාත්මයාණන්ගෙන් හා ඇදහිල්ලෙන් පූර්ණ ගුණවත් මනුෂ්‍යයෙකි. මෙසේ ජනයාගෙන් ඉතා විශාල පිරිසක් ස්වාමින්වහන්සේ වෙතට ගෙනෙන ලදහ.</verse>
				<verse number="25">ඉන්පසු බාර්ණබස්, සාවුල් සොයා තාර්සස් බලා ගොස්,</verse>
				<verse number="26">ඔහු සම්භව අන්තියෝකිය වෙත කැඳවාගෙන ආවේ ය. මෙසේ බාර්ණබස් හා සාවුල් අන්තියෝකියේ සභාව හමුවට ගොස්, අවුරුද්දක් මුළුල්ලේ බොහෝ දෙනකුට ඉගැන්වූහ. ගෝලයින් ක්‍රිස්තියානි යන නමින් මුලින්ම අමතනු ලැබුවේ අන්තියෝකියේදී ය.</verse>
				<verse number="27">මේ කාලයේ දිවැසිවරුන් කීප දෙනෙක් යෙරුසලමේ සිට අන්තියෝකිය වෙත පැමිණියහ.</verse>
				<verse number="28">ඔවුන්ගෙන් කෙනෙක් වූ අගබස් නැමැත්තා ආත්මයාණන් මඟින් අනාවැකි පවසමින්, රෝම අධිරාජ්‍යය පුරා මහත් සාගතයක් පැතිරෙන වග දැන්වී ය. (ක්ලෝදියස් අධිරාජයාගේ පාලන සමයේ මෙය සිදු විය.)</verse>
				<verse number="29">එවිට ගෝලයෝ එකිනෙකා තම තමාගේ පුළුවන්කමේ හැටියට යුදයේ සිටි සහෝදරයනට සහනාධාර යැවීමට තීරණ කළහ.</verse>
				<verse number="30">ඔවුහු එසේ කර, බාර්ණබස් හා සාවුල් අත යෙරුසලම් සභා-මූලිකයින් වෙත ඒවා යැවූහ.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">හෙරෝද් රජ එදවස්හි සභාවට අයත් ඇතැම් දෙනකුට පීඩා කරන්නට වන්නේ ය.</verse>
				<verse number="2">ඔහු යොහන්ගේ සහෝදර යාකොබ් කඩුවෙන් මැරවී ය.</verse>
				<verse number="3">එය යුදෙව්වන්ගේ සතුටට හේතු වූ බව දුටු ඔහු, ඉන් නො නැවතී පේතෘස් ද අත්අඩංගුවට ගත්තේ ය. එය සිදු වූයේ නුමුහුන් රොටි මංගල්‍යය අතරතුර ය.</verse>
				<verse number="4">පේතෘස් අත්අඩංගුවට ගත් හෙරෝද්, ඔහු සිරගෙයි දමා, ඔහු මුර කිරීමේ කාරිය, මුර භටයින් සිව් දෙනකු බැගින් යුතු මුර කණ්ඩායම් හතරකට පැවරී ය. පාස්කුවෙන් පසු ප්‍රසිද්ධියේ ඔහු විභාග කිරීම හෙරෝද්ගේ අදහස විය.</verse>
				<verse number="5">පේතෘස් මෙසේ සිර අඩස්සියේ පසු විය; එහෙත් සභාව ඔහු උදෙසා දෙවියන්වහන්සේට උදක්ම යාච්ඤා කළහ.</verse>
				<verse number="6">හෙරෝද් නඩු විභාගයට ඔහු ගෙන ඒමට කලින් දින රැයේ පේතෘස් දම්වැල් දෙකකින් බඳිනු ලැබ, හේවායින් දෙදෙනකුට මැදිව නිදා සිටියේ ය; සෙසු මුර භටයෝ සිරගෙයි දොරටු මුර කළහ.</verse>
				<verse number="7">ස්වාමින්වහන්සේගේ දූතයකු හදිසියේ එහි පෙනුණි; මැදිරිය තුළ එළියක් බැබළිණි. ඔහු පේතෘස්ගේ ඇලයට තට්ටු කර ඔහු පුබුදුවා, “හනික නැගිටින්නැ” යි කීවේ ය. එවිට පේතෘස්ගේ දෑත බැඳුණු යදම්, ලිහී වැටිණි.</verse>
				<verse number="8">“ඔබේ ඇඳුම් හැඳ, පාවහන් ලා ගන්නැ” යි දේව දූතයා පේතෘස්ට කී ය. පේතෘස් ඔහු කී ලෙස කළේ ය. “දැන්, ඔබේ කබාය පොරවාගෙන මා පසුපස එන්නැ” යි දේව දූතයා ඔහුට කීවේ ය.</verse>
				<verse number="9">පේතෘස් ඔහු පසුපසින් පිටතට ආවේ ය. එහෙත් දේව දූතයා අතින් මේ සිදුවන්නේ සැබෑ සිදුවීම් බැව් ඔහු නො දත්තේ ය. ඔහු සිතුවේ තමා දර්ශනයක් දකිනවා කියා ය.</verse>
				<verse number="10">ඔවුහු පළමු හා දෙවන මුරපොළවල් පසු කොට, නගරයට පිවිසෙන යකඩ දොරටුව වෙත ළඟා වූහ. ඉබේම දොරටුව ඔවුන්ට විවර විණි; ඉන් පිටතට වන් ඔවුන් ගමන් කරමින් එක් වීදියක් පසු කරද්දී, සැණෙක දේව දූතයා ඔහු හැර ගියේ ය.</verse>
				<verse number="11">එවිට පේතෘස් පියවි සිහි ලැබ, “ස්වාමින්වහන්සේ තම දූතයා එවා, හෙරෝද්ගේ ග්‍රහණයෙන් හා යුදෙව් ජනයාගේ මුළු අභිලාශයෙන් මා මුදා ගත් වග නිසැකව ම මා දැන් දන්නවා” යි කීවේ ය.</verse>
				<verse number="12">එය වටහා ගත් පේතෘස්, මාර්ක් නම් ලත් යොහන්ගේ මව වූ මරියාගේ නිවසට ගියේ ය. එහි බොහෝ දෙනෙක් රැස්ව, යාච්ඤා කරමින් සිටියහ.</verse>
				<verse number="13">පේතෘස් පිටත සිට දොරට තට්ටු කළේ ය. රොදා නම් වූ සේවක තරුණිය ඒ කවුරුන්දැයි බලන්නට ආවා ය.</verse>
				<verse number="14">පේතෘස්ගේ කටහඬ හැඳින, ප්‍රීතියෙන් ප්‍රමෝද වූ ඈ, දොර නෑරම, ආපසු ගෙතුළට දිව ගොස්, “අන්න! පේතෘස් දොරකඩ” යි හඬ ගෑවා ය.</verse>
				<verse number="15">එහෙත් ඔවුහු, “ඔබට ඔල්මාද යැ” යි පැවසූහ. එහෙත් ඒ වග ඇය තරයේම අවධාරණ කරන්නට වූ කල ඔවුහු, “එසේ නම් ඒ ඔහුගේ දූතයා වෙන්ට ඇතැ” යි කීහ.</verse>
				<verse number="16">පේතෘස් සිටියේ දොරට තට්ටු කරමිනි. එබැවින් දොර විවර කළ ඔවුහු ඒ පේතෘස් බව දැක විස්මිත වූහ.</verse>
				<verse number="17">නිහඬ වන ලෙස ඔවුනට අතින් සන් කළ පේතෘස්, ස්වාමින්වහන්සේ සිර ගෙයින් පිටතට තමා ගෙනා ආ හැටි විස්තර කළේ ය. “යාකොබ්ටත්, අනෙක් සහෝදරයින්ටත් මේ ගැන දන්වන්නැ” යි ඔවුන්ට පැවසූ ඔහු එතැනින් නික්ම, අන් තැනක් බලා ගියේ ය.</verse>
				<verse number="18">පහන් වූ කල, මුර භටයින් අතර සුළු පටු නො වූ කැලඹීමක් හට ගත්තේ, පේතෘස්ට කුමක් වීදැයි යන්න ගැන ය.</verse>
				<verse number="19">පේතෘස් සොයන්නට හෙරෝද් දැඩි සෝදිසි මෙහෙයුමක් යෙදවී ය. එහෙත් ඔහු සොයාගත හැකි නො වීය. මුර භටයින් ගෙන්වා ප්‍රශ්න කළ හෙරෝද්, ඔවුන් මරා දමන්නට නියෝග කළේ ය. හෙරෝද් ඉන් අනතුරුව යුදයේ සිට කායිසාරිය වෙත අවුත්, මද කලක් එහි ගත කළේ ය.</verse>
				<verse number="20">ඔහු තීර් හා සීදොන් වාසීන් සමඟ එදිරිවාදිකමක් ඇති කරගෙන තිබිණි. මෙකල ඔවුහු එකමුතුවී හෙරෝද් බැහැදැක්මට ගියහ. වාසල භාර නිලධාරි බ්ලාස්තුස්ගේ සහාය ඇතිව ඔවුහු රජු හා සාමය ඉල්ලූහ. මන්ද ඔවුන්ට ආහාර සැපයුණේ රජුගේ රටින් බැවිනි.</verse>
				<verse number="21">නියම කර ගත් දින හෙරෝද් රාජාභරණයෙන් සැරසී සිහසුන අරා හිඳ ජනයා අමතන්නට වන්නේ ය.</verse>
				<verse number="22">“මේ නම් දෙවියකුගේ කටහඬකි; මිනිසකුගේ නො වේ” යි ජනයා කෑ මොර දුන්හ.</verse>
				<verse number="23">හෙරෝද් දෙවියන්වහන්සේට දිය යුතු ගෞරවය නුදුන් බැවින්, ස්වාමින්වහන්සේගේ දූතයෙක් එකෙණෙහිම ඔහු ගසා හෙළුවේ ය. ඔහු පණුවන් විසින් කා දමන ලදුව මිය ගියේ ය.</verse>
				<verse number="24">එහෙත් දෙවියන්වහන්සේගේ වචනය වර්ධන වෙමින් පැතිරෙන්නට විය.</verse>
				<verse number="25">බාර්ණබස් හා සාවුල් තමන්ගේ මෙහෙය නිමවා, මාර්ක් නම් වූ යොහන් ද කැටිව යෙරුසලමේ සිට ආපසු ගියහ.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">අන්තියෝකියේ සභාවේ දිවැසිවරු හා ගුරුවරු වූහ. ඔවුහු නම්, බාර්ණබස්, නීගර් නමින් හැඳින් වූ සිමියොන්, සිරේනියානු ලුසියස්, හෙරෝද් ප්‍රාන්ත රජ සමඟ ඇති දැඩි වූ මානායින් හා සාවුල් ය.</verse>
				<verse number="2">ඔවුන් ස්වාමින්වහන්සේට නමස්කාර කරමින්, නිරාහාරව සිටි අවස්ථාවක, ශුද්ධාත්මයාණන්වහන්සේ ඔවුන් අමතමින්, “මා විසින් කැඳවනු ලැබූ සේවාව සඳහා බාර්ණබස් හා සාවුල් යන දෙදෙන මට වෙන් කරන්නැ” යි කී සේක.</verse>
				<verse number="3">එබැවින් ඔවුහු නිරාහාරව යාච්ඤා කර, ඔවුන් දෙදෙන පිට අත් තබා ඔවුන් පිටත් කර යැවූහ.</verse>
				<verse number="4">මෙසේ ශුද්ධාත්මයාණන් විසින් යවන ලදුව, ඔවුහු සිලුකි වරාය වෙත අවුත්, එතැනින් නැව් නැග, සයිප්‍රස් බලා යාත්‍රා කළහ.</verse>
				<verse number="5">සලමිස් නගරයට ළඟා වූ ඔවුහු, එහි යුදෙව් සිනගෝගවලදී දෙවියන්වහන්සේගේ වචනය ප්‍රකාශ කළහ. යොහන් ඔවුන්ගේ සහායකයාව සිටියේ ය.</verse>
				<verse number="6">මුළු දිවයින හරහා ගමනේ යෙදෙමින්, ඔවුහු පාපස් දක්වා ආහ. එහිදී බාර්-යේසුස් නම් වූ මන්තරකරුවකු වූ යුදෙව් බොරු-දිවැසිවරයෙක් ඔවුන්ට හමු විය.</verse>
				<verse number="7">ඔහු පළාත් ආණ්ඩුකාර සර්ගියස් පවුලස් සමඟ වූ කෙනෙකි. බුද්ධිමතකු වූ එම පළාත් ආණ්ඩුකරු දෙවියන්වහන්සේගේ වචනය ඇසීමේ රිසියෙන් බාර්ණබස් හා සාවුල් තමන් වෙත කැඳවී ය.</verse>
				<verse number="8">එහෙත් මායාකාර එලීමස්, (ඔහුගේ නමේ අරුත එය ය) ඔවුන්ට විරෝධය පාමින්, පළාත් ආණ්ඩුකාරයා ඇදහිල්ලෙන් වැළැක්වීමට වෙර දැරී ය.</verse>
				<verse number="9">එවිට පාවුල් නමින් ද හැඳින්වුණු සාවුල්, ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව, එක එල්ලේ එලීමස් දෙස බලා,</verse>
				<verse number="10">“සියලු ආකාර වංචාවෙනුත්, කපටිකමිනුත් අනූන සකල දමිටුකමට සතුරුකම් කරන යක්ෂයාගේ පුත්‍රය, ස්වාමින්වහන්සේගේ හරි මාර්ග මුළා කිරීමෙන් නුඹ නවතින්නේ නැති ද?</verse>
				<verse number="11">මෙන්න, දැන් ස්වාමින්වහන්සේගේ හස්තය නුඹට එරෙහිව, නුඹ අන්ධ වනු ඇත; කලකට හිරු එළිය දකින්නට නුඹට නො හැකි වනු ඇතැ” යි කීවේ ය. එකෙණෙහිම ඇස් පටලයකින් ද අන්ධකාරයකින් ද ඔහුගේ ඇස් වැසිණි. එවිට ඔහු තමාට කනවැල අල්ලන්නට කෙනකු සොයමින් එතැන මෙතැන ගියේ ය.</verse>
				<verse number="12">සිදු වූ දේ දුටු පළාත් ආණ්ඩුකාරයා ඇදහිල්ල වැලඳ ගත්තේ ය. මන්ද ස්වාමින්වහන්සේගේ ඉගැන්වීම් ගැන ඔහු විස්මපත් විය.</verse>
				<verse number="13">පාවුල් හා ඔහුගේ සගයෝ පාපස් වෙතින් නැව් නැග, පම්පිලියෙහි පර්ගා නගරයට ගොඩ බටහ. යොහන් යෙරුසලම් වෙත ආපසු යෑමට එහිදී ඔවුන්ගෙන් වෙන් විය.</verse>
				<verse number="14">ඔවුහු පර්ගාහි සිට පිසිදියාහි අන්තියෝකිය බලා ගියහ. ඔවුහු සබත් දවසේ එහි සිනගෝගයට පිවිස අසුන් ගත්හ.</verse>
				<verse number="15">දහම් නීතියෙන් හා දිවැසිවරුන්ගෙන් කියවූ පසු, සිනගෝග නිලධාරීහු ඔවුන්ට පණිවුඩයක් එවමින්, “සහෝදරයිනි, ජනයා දිරි ගන්වන යම් උපදෙසක් ඇතොත් පවසන්නැ” යි දැන්වූහ.</verse>
				<verse number="16">එකල, අසුනින් නැගී සිටි පාවුල් සභාවට අතින් සංඥා කර, කතා කරන්නට වන්නේ ය: “ඉශ්‍රායෙල් ජනයිනි, දෙවියන්වහන්සේට බය ඇත්තනි, මට සවන් දෙන්න.</verse>
				<verse number="17">ඉශ්‍රායෙල් ජනයාගේ දෙවියන්වහන්සේ, අප ආදි පියවරුන් තෝරා ගෙන, ඔවුන් ඊජිප්තු දේශයේ සිටියදී, ඔවුන් සමෘද්ධ කර, වික්‍රමාන්විත බලයකින් එම දේශයෙන් පිටතට ඔවුන් ගෙන ආ සේක.</verse>
				<verse number="18">උන්වහන්සේ වසර හතළිහක් පමණ කාන්තාරයේ ඔවුන්ගේ ගති පැවතුම් ඉවසූ සේක.</verse>
				<verse number="19">උන්වහන්සේ කානාන් දේශයේ ජාතීන් හතක් විනාශ කර, ඔවුන්ගේ දේශය තම ජනයාට උරුමයක් කොට දුන් සේක.</verse>
				<verse number="20">මේ සියල්ල සිදුවීමට වසර හාරසිය පනහක් පමණ ගත විය. “අනතුරුව, දිවැසිවර සාමුවෙල්ගේ කාලය තෙක්, උන්වහන්සේ ඔවුන්ට විනිශ්චයකරුවන් දුන් සේක.</verse>
				<verse number="21">ඉන්පසු ජනයා තමන්ට රජකු ඉල්ලා සිටියෙන්, දෙවියන්වහන්සේ බෙන්ජමින් වාංශික කිෂ්ගේ පුත්‍ර සාවුල් හතළිස් වසරකට ඔවුන්ට දුන් සේක.</verse>
				<verse number="22">ඉන්පසු සාවුල් ඉවත් කළ උන්වහන්සේ, රජකමට දාවිත් පත් කළ සේක. උන්වහන්සේ ඔහු ගැන සාක්ෂි දෙමින්: ‘මගේ හදවතට සරිලන යෙස්සේගේ පුත්‍ර දාවිත් මම සොයා ගතිමි; ඔහු මුළුමනින් මගේ කැමැත්ත කරනු ඇතැ’ යි පැවසූ සේක.</verse>
				<verse number="23">“මෙම මිනිසාගේ පරපුරෙන් දෙවියන්වහන්සේ ස්වකීය පොරොන්දුව ලෙස ඉශ්‍රායෙල් ජනයාට ගැලවුම්කරුවාණන් වූ යේසුස්වහන්සේ ලබා දුන් සේක.</verse>
				<verse number="24">යේසුස්වහන්සේගේ ඊමට පෙර, යොහන් සියලු ඉශ්‍රායෙල්වරුනට පසුතැවිල්ලේ බව්තීස්මය ප්‍රකාශ කළේ ය.</verse>
				<verse number="25">යොහන් සිය සේවය සමාප්ත කරමින්, ‘ඔබ සිතන්නේ මා කවරෙක් ය කියා ද? මා එතුමාණන් නො වේ. සත්තකින්ම, එතුමාණෝ මට පසුව එන සේක. එතුමාණන්ගේ පාවහන් පටි මුදන්නට තරම් වත් මා වටින්නේ නැතැ’ යි කීවේ ය.</verse>
				<verse number="26">“සහෝදරවරුනි; ආබ්‍රහම්ගේ දරුවනි, දෙවියන්වහන්සේට බය ඇත්තනි, ගැලවීමේ මේ ශුභාරංචිය එවා ඇත්තේ අප වෙතයි.</verse>
				<verse number="27">යෙරුසලම් ජනයාත්, ඔවුන්ගේ පාලකයනුත් යේසුස්වහන්සේ කවරෙක්දැයි හැඳින ගත්තේ නැත. එහෙත්, උන්වහන්සේ දණ්ඩනයට පත් කරමින් ඔවුන් කළේ, හැම සබත් දවසක කියවනු ලබන දිවැසිවරුන්ගේ දිවැසි වැකි ඉෂ්ට කිරීමයි.</verse>
				<verse number="28">උන්වහන්සේට මරණ දණ්ඩනය දීමට හේතු සාධකයක් සොයාගත නො හැකි වුවත්, උන්වහන්සේ මරා දමන ලෙස ඔවුහු පිලාත්ගෙන් ඉල්ලූහ.</verse>
				<verse number="29">මෙසේ උන්වහන්සේ ගැන ලියවී තිබූ හැම දේ ඉටු කරමින්, ඔවුහු උන්වහන්සේ ගසින් බාවා සොහොනක තැන්පත් කළහ.</verse>
				<verse number="30">එහෙත් දෙවියන්වහන්සේ, මළවුන්ගෙන් උන්වහන්සේ නැගිට වූ සේක.</verse>
				<verse number="31">උන්වහන්සේ සමඟ ගලීලයේ සිට යෙරුසලමට ගමන් කළ අය බොහෝ දවසක් උන්වහන්සේ දුටුවහ. ඔවුහු දැන් ජනයාට උන්වහන්සේගේ සාක්ෂිකරුවෝයි.</verse>
				<verse number="32">“අප ඔබට ප්‍රකාශ කරන්නේ මේ ශුභාරංචියයි. දෙවියන්වහන්සේ අපේ පියවරුනට දුන් පොරොන්දුව</verse>
				<verse number="33">යේසුස්වහන්සේ නැගිටුවීම මඟින් උන්වහන්සේ, ඔවුන්ගේ දරුවන් වන අපට ඉෂ්ට කළ වගයි. ඒ ගැන ගීතාවලී දෙවැන්නෙහි ලියා ඇත්තේ, “ ‘ඔබ මාගේ පුත්‍රයාණන් ය; මම අද ඔබ ජනිත කළෙමි’ යනුවෙනි.</verse>
				<verse number="34">කිසි කලෙක දිරා ජරාවට පත් නො වන පිණිස, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවන ලද කාරණය මෙම ශුද්ධ ලියවිලි පාඨයෙන් හුවා දැක් වේ: “ ‘දාවිත්ට මා පොරොන්දු වූ ශුද්ධ වූ නියත ආශිර්වාද මම ඔබට දෙමි.’</verse>
				<verse number="35">ශුද්ධ ලියවිල්ලේ තවත් තැනක ඒ ගැන මෙසේ දැක් වේ: “ ‘ඔබගේ ශුද්ධවතාණන්ට දිරා ජරාවට යෑම අත්දකින්නට ඔබ ඉඩ දෙන්නේ නැත’ යන්නයි.</verse>
				<verse number="36">“දාවිත්, තම පරම්පරාවේදී, දෙවියන්වහන්සේගේ අරමුණට සේවය කර, සැතපී, තම පියවරුන් අතරේ තැන්පත් කරන ලදුව, ඔහුගේ සිරුර දිරා ගියා.</verse>
				<verse number="37">එහෙත් දෙවියන්වහන්සේ විසින් නැගිටුවන ලද තැනැත්තාණන් දිරා ජරාවට පත් වූයේ නැත.</verse>
				<verse number="38">“එබැවින් මා සහෝදරයිනි, පාප කමාව ප්‍රකාශ කරනු ලබන්නේ, මෙම යේසුස්වහන්සේ මඟින් වග ඔබ දැනගත යුතුයි.</verse>
				<verse number="39">මෝස‍ෙස්ගේ දහම් නීතිය මඟින් හැම දෙයක් සඳහාම ධර්මිෂ්ඨ කරනු ලැබීම ලැබිය නො හැකි නමුදු, මුන්වහන්සේ අදහා ගන්නා සෑම කෙනකුම ඒ තුළින් ධර්මිෂ්ඨ කරනු ලබති.</verse>
				<verse number="40">එබැවින් දිවැසිවරුන් විසින් පෙර කියන ලද මේ කාරණා ඔබට සිදු නො වන පිණිස වගබලා ගන්න:</verse>
				<verse number="41">“ ‘ගරහන්ණනි, බලනු, විස්මිත වී නැසෙනු, මන්ද යමකු ඔබට දැන්වූවත් ඔබ විශ්වාස කරන්නේ නැති යම් අරුමයක්, ඔබේ දවස්වල මම කරන්නෙමි.’ ”</verse>
				<verse number="42">පාවුල් හා බාර්ණබස් සිනගෝගයෙන් නික්ම යෑමට සැරසෙද්දී, ඊළඟ සබතේ ද මේ දෑ පිළිබඳව කතා කරන ලෙස, ජනයා ඔවුන්ට ඇරියුම් කළහ.</verse>
				<verse number="43">සභාව විසිර ගිය පසු, යුදෙව්වන් හා යුදෙව් දහම වැලඳගත්තවුන් බොහෝ දෙනෙක් පාවුල් හා බාර්ණබස් පසුපස ගියහ. ඒ දෙදෙන ඔවුන් හා සාකච්ඡා කරමින්, දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙහිම එල්බ සිටින ලෙසට ඔවුන් උනන්දු කළහ.</verse>
				<verse number="44">ඊළඟ සබතේ ස්වාමින්වහන්සේගේ වචන අසන්නට මුළු පුරවරයම පාහේ එක්රැස් වූහ.</verse>
				<verse number="45">එහෙත් ඒ මහ සෙනඟ දුටු කල, යුදෙව්වෝ ඊර්ෂ්‍යාවෙන් පිරී, පාවුල්ගේ දේශනයට එරෙහිව අපහාසාත්මකව කතා කළහ.</verse>
				<verse number="46">එවිට පාවුල් හා බාර්ණබස් එඩිතරව ඔවුන්ට පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේගේ වචනය පළමු කොට යුදෙව් ඔබට ප්‍රකාශ කිරීමට අපට යුතුව තිබුණා. එහෙත් ඔබ එය ප්‍රතික්ෂේප කරමින් සදාතන ජීවනය ලැබීමට ඔබ නො වටනේයැයි ඔබම නිශ්චය කළ නිසා, මෙන්න, අපි දැන් අන්‍ය-ජාතිකයින් වෙත හැරී සිටිනවා.</verse>
				<verse number="47">මන්ද ස්වාමින්වහන්සේම අපට නියෝග කොට ඇත්තේ මෙයයි: “ ‘පොළෝ සීමා කෙළවරවල් දක්වාම මාගේ ගැලවීම ගෙනෙනු පිණිස, මම අන්‍ය-ජාතීනට ඔබ එළියක් කරන්නෙමි.’ යනුවෙනැ” යි පැවසූහ.</verse>
				<verse number="48">අන්‍ය-ජාතීහු ඒ ඇසූ කල, ස්වාමින්වහන්සේගේ වචනයෙහි ප්‍රමෝද වීමටත්, ඊට ගෞරව මහිම දීමටත් වන්හ. සදාතන ජීවනයට තෝරාගනු ලැබූ සියල්ලෝ අදහා ගත්තෝ ය.</verse>
				<verse number="49">ස්වාමින්වහන්සේගේ වචනය ඒ පළාත මුළුල්ලේ ප්‍රචලිත විය.</verse>
				<verse number="50">එහෙත් යුදෙව්වෝ දේව බය ඇති කුල ස්ත්‍රීන් ද එපුර ප්‍රධාන මිනිසුන් ද උසිගන්වා පාවුල් හා බාර්ණබස්ට එරෙහි හිංසනයකට ඔවුන් පොලඹවා, ඔවුන්ගේ පළාතෙන් ඔවුන් පන්නා දැමූහ.</verse>
				<verse number="51">එවිට තම පා දූලි ඔවුන්ට එරෙහිව ගසා දැමූ ඔවුහු, ඉකෝනිය වෙත පිටත්ව ගියහ.</verse>
				<verse number="52">එහෙත් ගෝලයෝ, ප්‍රීති ප්‍රමෝදයෙන් ද ශුද්ධාත්මයාණන්ගෙන් ද පූර්ණ කරන ලදහ.</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">ඉකෝනියෙහි දී පාවුල් හා බාර්ණබස් යුදෙව් සිනගෝගයට ගොස් දේශනා කළහ. එහි ප්‍රතිඵලය වූයේ, යුදෙව්වන් හා ග්‍රීකයින් මහත් සංඛ්‍යාවක් අදහා ගැනීමයි.</verse>
				<verse number="2">එහෙත් අදහා ගැනීම ප්‍රතික්ෂේප කළ සෙසු යුදෙව්වෝ, විජාතිකයින් කලඹා, සහෝදරවරුනට එරෙහිව ඔවුන්ගේ සිත් දූෂ්‍ය කළහ.</verse>
				<verse number="3">එහෙයින් පාවුල් හා බාර්ණබස් ස්වාමින්වහන්සේ උදෙසා නිර්භයව කතා කරමින්, සෑහෙන කලක් එහිම ගත කළහ. අනුහස් ලකුණු ද හාස්කම් ද පෑමට ඔවුනට වර දෙමින්, ස්වාමින්වහන්සේ තම අනුග්‍රහයේ පණිවුඩය සහතික කළ සේක.</verse>
				<verse number="4">නගර ජනයා දෙපිලකට බෙදිණි. සමහරු යුදෙව්වන්ගේ පිලට ද සෙසු අය අපෝස්තුලුවරුන්ගේ පිලට ද වන්හ.</verse>
				<verse number="5">ඔවුන්ට හිරිහැර කර, ගල් ගසන්නට අන්‍ය-ජාතිකයින්, යුදෙව්වන් හා ඔවුන්ගේ නායකයින් අතර කුමන්ත්‍රණයක් විය.</verse>
				<verse number="6">එහෙත් ඒ වග දැනගත් ඔවුහු, ඒ නගරයෙන් පලා ගොස්, ලුස්ත්‍රා හා දර්බය යන ලුකොනියාවේ නගරවලට ද ඒ අවට පළාත්වලට ද සේන්දු වී,</verse>
				<verse number="7">එහිදී ද ශුභාරංචිය දේශනා කළහ.</verse>
				<verse number="8">ලුස්ත්‍රා වැසියකු වූ උපතින්ම දෙපා දුබල, කිසි දිනෙක ඇවිද නැති කොර මිනිහෙක් වාඩිගෙන,</verse>
				<verse number="9">පාවුල්ගේ දේශනයකට කන් දෙමින් සිටියේ ය. පාවුල් එක එල්ලේ ඔහු දෙස බැලූ කල, සුවය ලැබීමට ඔහුට ඇදහිල්ල ඇති වග දැක,</verse>
				<verse number="10">“දෙපයින් නැගී සිටිනු” යි උස් හඬින් පැවසී ය. එවිට ඒ මිනිසා උඩ පැන, ඇවිදින්නට වන්නේ ය.</verse>
				<verse number="11">පාවුල් කළ ඒ අරුමය දුටු ජන සමූහයා, “මෙන්න! දෙවිවරු මිනිස් වෙසින් අප වෙත බැස ඇවිත්” කියමින් ලුකෝනියානු බසින් ඝෝෂා කළහ.</verse>
				<verse number="12">ඔවුහු බාර්ණබස්ට සියුස් කියා ද ප්‍රධාන කතික පාවුල්ට හර්මීස් කියා ද ඇමතූහ.</verse>
				<verse number="13">නගර සීමාවෙන් ඔබ්බෙහි පිහිටි සියුස්ගේ දේවාලය භාර කපුවා ගොනුන් ද මල්මාලා ද රැගෙන නගර දොරටුව වෙත ආවේ, ජන සමූහයා සමඟ ඔවුන්ට යාගයක් පිදීමේ අටියෙනි.</verse>
				<verse number="14">එහෙත් අපෝස්තුලුවර බාර්ණබස් හා පාවුල් ඒ අසා, තම හැඳිවත් ඉරාගෙන, හනික සමූහයා අතරට වැද, මොර ගසමින්,</verse>
				<verse number="15">“මිනිසුනේ, මොනවද මේ කරන්නේ? අපත් නුඹලා වගේ මිනිස්සු පමණයි. අප ආවේ, ‘කිසි ප්‍රයෝජනයක් නැති ඔවැනි දේට පිටුපා, අහසත්, පොළොවත්, මුහුදත් එහි ඇති සියල්ලත් මැවූ ජීවමාන දෙවියන්වහන්සේ වෙත හැරෙන්න’ යන ශුභාරංචිය ඔබට කියන්නටයි.</verse>
				<verse number="16">පසුගිය පරම්පරාවලදී ඒ ඒ ජාතීනට තම තමන්ගේ මාර්ගවල යන්නට උන්වහන්සේ ඉඩ හැරියා.</verse>
				<verse number="17">එහෙත් එකල ද තමන්වහන්සේ ගැන සාක්ෂි දැරීම අත්හරින්නේ නැතිව, අහසින් වැස්ස එවා, නිසි කල අස්වනු දීමෙන් ද බහුල ලෙස ආහාර සැපයීමෙන් හා ඔබගේ සිත් සොම්නසින් පුරවමින් ද උන්වහන්සේ ඔබට කරුණාව පෑවා” යි කීවේ ය.</verse>
				<verse number="18">එහෙත් ඒ වචනවලින් පවා තමනට පූජා ඔප්පු කිරීමෙන්, ජනතාව වැළැක්වීම ඔවුනට හැකි වූයේ මහත් අසීරුවෙනි.</verse>
				<verse number="19">එකල අන්තියෝකියෙන් හා ඉකෝනියෙන් පැමිණි යුදෙව්වන් ඇතැම් දෙනෙක් ජනයා තම පැත්තට නම්මාගෙන, පාවුල්ට ගල් ගැසූහ. පසුව, ඔහු මළේයැයි සිතූ ඔවුහු, නගරයෙන් පිටතට ඔහු ඇද දැමූහ.</verse>
				<verse number="20">එහෙත් ගෝලයින් පැමිණ, ඔහු වට කොට ගත් කළ, යළි නැගී සිටි පාවුල් ආපසු නගරයට අවුත්, පසුවදා බාර්ණබස් සමඟ දර්බය බලා පිටත් විය.</verse>
				<verse number="21">ඒ නගරයේ ශුභාරංචිය දේශනා කළ ඔවුහු, බොහෝ දෙනකු ගෝලයින් බවට හැරවූහ. ඉන්පසු ලුස්ත්‍රා, ඉකෝනිය හා අන්තියෝකිය වෙත හැරී ආ ඔවුහු,</verse>
				<verse number="22">ගෝලයින්ගේ සිත් සවිමත් කරමින්, ඇදහිල්ලේ ස්ථිරව පවතින්නට ඔවුන් දිරිමත් කළහ. “දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට අප මහත් දුෂ්කරතා මැදින් යා යුතුව ඇතැ” යි ඔවුහු කීහ.</verse>
				<verse number="23">එක් එක් සභාව සඳහා සභා-මූලිකයින් පත් කළ පාවුල් හා බාර්ණබස්, නිරාහාරව සිට, යාච්ඤා කොට තමන් විශ්වාසය තැබූ ස්වාමින්වහන්සේට ඔවුන් භාර කළහ.</verse>
				<verse number="24">පිසිදිය හරහා ගමන් කළ ඔවුහු පම්පිලිය වෙත පැමිණියහ.</verse>
				<verse number="25">පර්ගාහි වචනය දේශනා කළ ඔවුහු එතැනින් අත්තාලියා වෙත ගියහ.</verse>
				<verse number="26">එතැනින් නැව් නැගුණු ඔවුහු, ආපසු අන්තියෝකිය බලා යාත්‍රා කළහ. ඔවුන් විසින් ඉටු කරන ලද සේවාව සඳහා දෙවියන්වහන්සේගේ අනුග්‍රහයට ඔවුන් කැප කරන ලද්දේ මෙහිදී ය.</verse>
				<verse number="27">එහි ළඟා වූ ඔවුහු එහි සභාව රැස් කරවා, දෙවියන්වහන්සේ විසින් තමන් ලවා කරවන ලද සියල්ල ද ඇදහිල්ල කරා අන්‍ය-ජාතීන්ට මගක් හෙළිකර දුන් අයුරු ද විස්තර කළහ.</verse>
				<verse number="28">පාවුල් හා බාර්ණබස් එම ගෝලයින් සමඟ බොහෝ කලක් නැවතී සිටියහ.</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">මෙකල යුදයේ සිට අන්තියෝකිය වෙත පැමිණි ඇතමෙක්, “මෝස‍ෙස්ගේ නියෝගය ලෙස චාරිත්‍රානුකූලව චර්මඡේද කරනු ලැබුවොත් මිස, ඔබට ගැලවීම ලබන්නට නො හැකි යැ” යි සහෝදරයින්ට උගන්වන්නට වූහ.</verse>
				<verse number="2">මේ ගැන පාවුල් හා බාර්ණබස් ද ඔවුන් ද අතර තියුණු වාදයක් පැන නැඟිණි. එබැවින් මේ ප්‍රශ්න ගැන යෙරුසලමේ අපෝස්තුලුවරුන් හා සභා-මූලිකයින් හමුවට පාවුල් හා බාර්ණබස් සමඟ තව සමහර දෙනෙක් ද යා යුතු යයි නියම කර ගැනිණ.</verse>
				<verse number="3">සභාව ඔවුන් පිටත් කර යැවී ය. ඔවුහු පිනීකිය හා සමාරිය හරහා ගමන් ගනිමින්, අන්‍ය-ජාතීන්ගේ හැරීමේ පුවත පතළ කරමින්, එහි විසූ සියලු සහෝදරයින්ට මහත් ප්‍රීතියක් ගෙන දුන්හ.</verse>
				<verse number="4">යෙරුසලමට ඔවුන් පැමිණි කල, සභාව ද අපෝස්තුලුවරු ද සභා-මූලිකයෝ ද සාදරයෙන් ඔවුන් පිළිගත්හ. ඔවුහු තමන් මඟින් දෙවියන්වහන්සේ සිදු කළ හැම දෙයක්ම ඔවුන්ට ප්‍රකාශ කළහ.</verse>
				<verse number="5">එවිට පරිසිවරුන්ගේ නිකායට අයත් ඇදහිලිවත් ඇතමෙක් නැගිට, “අන්‍ය-ජාතීන් ද චර්ම-ඡේදනය ලැබිය යුතු ය; මෝස‍ෙස්ගේ දහම් නීති පිළිපැදිය යුතු යැ” යි පැවසූහ.</verse>
				<verse number="6">මෙම ප්‍රශ්නය සමාලෝචනය කරනු පිණිස, අපෝස්තුලුවරු හා සභා-මූලිකයෝ එක්රැස් වූහ.</verse>
				<verse number="7">දිගු විවාදයකින් පසු පේතෘස් ඔවුන් අමතන්නට නැගී සිටියේ ය. “සහෝදරවරුනි අන්‍ය-ජාතීන් මා මුවින් ශුභාරංචි පණිවුඩය අසා අදහා ගනු පිණිස, දෙවියන්වහන්සේ කලකට ඉහතදී ඔබ අතරින් මා තෝරාගත් හැටි ඔබ දන්නවා.</verse>
				<verse number="8">හදවත් දන්නා දෙවියන්වහන්සේ අපට දුන් ලෙසම ඔවුන්ටත් ශුද්ධාත්මයාණන් දීමෙන් සාක්ෂි දී ඇත්තේ, උන්වහන්සේ ඔවුන් ද පිළිගත් බවයි.</verse>
				<verse number="9">ඔවුන් හා අප අතරේ කිසිදු වෙනසක් නො කළ උන්වහන්සේ ඇදහිල්ල මඟින් ඔවුන්ගේ හදවත් පවිත්‍ර කළ සේක.</verse>
				<verse number="10">එසේ නම් අපටවත්, අපේ පියවරුනටවත් දැරිය නො හැකි වූ බර වියගහක් මේ ගෝලයින්ගේ ගෙල මත පැටවීමෙන් දෙවියන්වහන්සේ පරීක්ෂා කිරීමට ඔබ වෙර දරන්නේ ඇයි?</verse>
				<verse number="11">ඇත්තෙන්ම, අප විශ්වාස කරන්නේ, ඔවුන් මෙන්ම අපත් ගලවනු ලැබ ඇත්තේ යේසුස් ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය තුළින් වගයි” ප්‍රකාශ කළේ ය.</verse>
				<verse number="12">දෙවියන්වහන්සේ අන්‍ය-ජාතීන් අතරේ තමන් ලවා සිදු කළ අනුහස් ලකුණු හා හාස්කම් ගැන පවසද්දී, මුළු සභාව නිහැඬියාවෙන් යුතුව බාර්ණබස්ට හා පාවුල්ට සවන් දුන්හ.</verse>
				<verse number="13">ඔවුන්ගේ කතාව නිම වූ පසු, යාකොබ් සභාව අමතන්නට වන්නේ ය. “සහෝදරවරුනි, මට සවන් දෙන්න;</verse>
				<verse number="14">දෙවියන්වහන්සේ ස්වකීය නාමයට අන්‍ය-ජාතිකයින් අතරින් ජනතාවක් පළමු කොට තෝරාගත් හැටි සීමොන් අපට විස්තර කළා.</verse>
				<verse number="15">දිවැසිවරුන්ගේ වචන ඊට එකඟයි. ඒ මෙසේයි:</verse>
				<verse number="16">“ ‘එයින් පසු මම ආපසු ඇවිත්, දාවිත්ගේ ගරා වැටුණු කූඩාරම යළි ගොඩ නගමි. එහි නටබුන් යළි ගොඩ නගා, මම එය පිළිසකර කරමි.</verse>
				<verse number="17">එසේ කරන්නේ, මිනිසුන්ගේ ඉතිරි ස්වල්ප දෙනා හා අන්‍ය-ජාතීන් අතර මගේ නාමය දරන්නන් ස්වාමින්වහන්සේ සොයන පිණිස යයි</verse>
				<verse number="18">ඉහත අනාදියේ පටන් මේ සියල්ල ගැන දන්වන්නා වූ ස්වාමින්වහන්සේ පවසන්නාහ’ යනුයි.</verse>
				<verse number="19">“එබැවින් මගේ තීන්දුව නම්, දෙවියන්වහන්සේ වෙත හැරෙන අන්‍ය-ජාතීන් හට අසීරුතා ඇති නො කළ යුතු බවයි.</verse>
				<verse number="20">ඒ වෙනුවට, පිළිමවලට පිදූ ආහාරවලින් ද ලිංගික අනාචාරයෙන් ද ගෙල මිරිකා මැරූ සතුන්ගේ මසින් ද ලෙයින් ද වැළකී සිටිය යුතු ය යන්න අපි ඔවුන්ට මෙසේ ලියා යැවිය යුතුයි.</verse>
				<verse number="21">මන්ද මෝස‍ෙස්ගේ නියෝග ආදි පරම්පරාවල සිටම හැම නගරයකම දේශනා කෙරේ. හැම සබත් දවසකම ඒවා සිනගෝගවලදී කියවනු ලැබේ යැ” යි පැවසී ය.</verse>
				<verse number="22">ඉන්පසු තමන් අතරින් මිනිසුන් කීප දෙනකු තෝරා, පාවුල් හා බාර්ණබස් සමඟ අන්තියෝකිය වෙත යැවීම සුදුසු වග අපෝස්තුලුවරුනට හා සභා-මූලිකයනට ද මුළු සභාවට ද පෙනී ගියේ ය. සහෝදරයින් අතර නායකයින් වූ බර්සබස් නම් ලත් යූදස් ද සීලස් ද ඒ කාරිය සඳහා තෝරාගත් ඔවුහු,</verse>
				<verse number="23">ඔවුන් අත මෙසේ ලියා යැවූහ: අන්තියෝකියේ ද සිරියාහි ද සිලිසියාහි ද වෙසෙන අන්‍ය-ජාතික සහෝදරයින් වෙතයි. අපෝස්තුලුවරුන් හා සභා-මූලිකයන් වන ඔබේ සහෝදරයින් වන අපි ඔබට, ආචාර කරන්නෙමු.</verse>
				<verse number="24">අපගේ අනුමැතියක් නො මැතිව අප වෙතින් පැමිණි ඇතමකු, යම් යම් දේ පවසමින් ඔබ කලඹා, ඔබ සිත් අවුල් කළ වග අපට අසන්නට ලැබිණි.</verse>
				<verse number="25">එබැවින් ඒකමතිකව අප හැමගේ නිගමනය වූයේ, මිනිසුන් කීප දෙනකු තෝරා ඔබ වෙත එවීමයි. අප, ඔවුන් එවන්නේ අපගේ ප්‍රේමණීය සහෝදරයින් වන බාර්ණබස් හා පාවුල් යන</verse>
				<verse number="26">යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ නාමය උදෙසා සිය ජීවිත පරදුවට තැබූවන් සමඟිනි.</verse>
				<verse number="27">අප ලියා එවන දෑ, කට වචනයෙන්ම සහතික කරනු පිණිස, මෙසේ අපි යූදස් හා සීලස් ඔබ වෙත එවමු.</verse>
				<verse number="28">පහත සඳහන් නියමයන්ට අමතරව අන් කිසි බරක් ඔබට පැටවිය යුතු නැති වග යහපත් යයි ශුද්ධාත්මයාණන්ටත් අපටත් පෙනී ගියේ ය.</verse>
				<verse number="29">එනම්, පිළිමවලට පිදූ ආහාරවලින් ද ලෙයින් ද ගෙල මිරිකා මැරූ සතුන්ගේ මසින් ද ලිංගික අනාචාරයෙන් ද ඔබ වැළකී සිටිය යුතුයි; මේවායින් ඔබ දුරු වී සිටින්නේ නම්, ඔබ කරන්නේ හරි දේයි; “සෙත් වේවා!”</verse>
				<verse number="30">මෙසේ යවනු ලැබූ අය අන්තියෝකිය වෙත ගොස්, එහි සභාව එක්රැස් කරවා, ලිපිය බාර දුන්හ.</verse>
				<verse number="31">ඔවුහු එය කියවා, එහි වූ දිරිගැන්වීමේ පණිවුඩය ගැන ප්‍රමෝදවත් වූහ.</verse>
				<verse number="32">දිවැසිවරුන් වූ යූදස් හා සීලස් සහෝදරයින් ධෛර්යවත් කරමින් හා ඔවුන් ශක්තිමත් කරමින් බොහෝ දෑ පැවසූහ.</verse>
				<verse number="33">මද කලක් ඔවුන් එහි ගත කළ පසු, සහෝදරයෝ ඔවුන් එවනු ලැබූවන් වෙත සාමයෙන් ඔවුන් ආපසු පිටත් කර යැවූහ.</verse>
				<verse number="34">එහෙත් සීලස් එහි නැවතීමට තීරණය කළේ ය.</verse>
				<verse number="35">පාවුල් හා බාර්ණබස් අන්තියෝකියේදී නැවතී තවත් බොහෝ දෙනකු ද සමඟ ස්වාමින්වහන්සේගේ වචනය ඉගැන්වීමෙහි හා දේශනා කිරීමෙහි නියැළුණහ.</verse>
				<verse number="36">කීප දවසකට පසු පාවුල්, බාර්ණබස් අමතමින්, “අපි ස්වාමින්වහන්සේගේ වචනය දේශනා කළ නගර සියල්ලට ආපසු ගොස්, ඒවායේ සහෝදරයින් බැහැදැක, ඔවුන් කෙලෙස කටයුතු කරන්නේදැයි සොයා බලමු” යි යෝජනා කළේ ය.</verse>
				<verse number="37">තමන් සමඟ මාර්ක් නම් ලත් යොහන් කැඳවාගෙන යෑමට බාර්ණබස්ට ඕනෑ විය.</verse>
				<verse number="38">එහෙත් පාවුල් ඊට විරුද්ධ වූයේ වරක් ඔහු පම්පිලියෙහි දී ඔවුන් අත්හැර යෑම නිසාත්, ඔවුන් හා එක්ව කටයුතු නො කිරීම නිසාත් ය.</verse>
				<verse number="39">මෙසේ පාවුල් හා බාර්ණබස් දෙපසට වෙන් කිරීමට තරම් වූ තියුණු මත-භේදයක් පැන නැඟිණි. බාර්ණබස් තමා සමඟ මාර්ක් ගෙන සයිප්‍රස් බලා නැවෙන් ගියේ ය.</verse>
				<verse number="40">එහෙත් තමා හා යෑමට සීලස් තෝරාගත් පාවුල්, සහෝදරයින් විසින් ස්වාමින්වහන්සේගේ අනුග්‍රහයට භාර දෙන ලදුව පිටත් වී,</verse>
				<verse number="41">සභා සවිමත් කරමින් සිරියා හා සිලිසියා හරහා ගමන් ගත්තේ ය.</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">පාවුල් දර්බයටත් එතැනින් ලුස්ත්‍රාවටත් පැමිණියේ ය. ලුස්ත්‍රාවෙහි තිමෝති නම් ගෝලයෙක් විසී ය. ඔහුගේ මව යුදෙව් ජාතික ඇදහිලිවන්තියක වූ නමුදු පියා ග්‍රීකයෙකි.</verse>
				<verse number="2">ලුස්ත්‍රාවෙහි හා ඉකෝනියෙහි විසූ සහෝදරයෝ තිමෝති ගැන ගුණ කීහ.</verse>
				<verse number="3">තිමෝති ද ගමනට සහභාගි කරවා ගැනීමට පාවුල්ට ඕනෑ විය. එබැවින් පාවුල්, ඔහු චර්මඡේද කළේ ය. එසේ කළේ, ඒ පෙදෙස්හි විසූ යුදෙව්වන් නිසා ය. ඔහුගේ පියා ග්‍රීකයකු වග ඒ හැම දැන සිටි හෙයිනි.</verse>
				<verse number="4">යෙරුසලමේ අපෝස්තුලුවරුන් හා සභා-මූලිකයන් විසින් පනවන ලද නියෝග පිළිපැදීම ඔවුන්ට භාර කරමින්, ඔවුහු නගරයෙන් නගරයට ගමන් කළහ.</verse>
				<verse number="5">මෙසේ ඒ ඒ නගරවල සභා ඇදහිල්ලේ සවිමත් වෙමින්, දිනපතා ගණනින් ද වැඩෙන්නට විය.</verse>
				<verse number="6">ආසියා කලාපයේ වචනය කතා කිරීම ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් තහනම් කරන ලදුව, ඔවුහු පිරිගිය හා ගලාතිය පෙදෙස් ඔස්සේ ගමනේ යෙදුණහ.</verse>
				<verse number="7">මිසියේ සීමාවට පැමිණි ඔවුහු බිතිනිය වෙත යන්නට උත්සාහ ගත් නමුදු, යේසුස්වහන්සේගේ ආත්මයාණෝ ඊට ද ඉඩ නුදුන් සේක.</verse>
				<verse number="8">එබැවින් ඔවුහු මිසිය පසු කොට ත්‍රෝවස වෙත පැමිණියහ.</verse>
				<verse number="9">රාත්‍රියේ පාවුල් දර්ශනයක් දිටී ය. මකිදෝනියෙහි වැසියකු සිටගෙන, “මකිදෝනිය වෙත අවුත් අපට උපකාර කරන්නැ” යි උදක්ම ඉල්ලනු ඔහුට පෙනිණි.</verse>
				<verse number="10">පාවුල් දුටු දර්ශනය මඟින් මකිදෝනිය වැසියනට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට දෙවියන්වහන්සේ අප කැඳවතැයි නිගමනය කළ අපි වහා මකිදෝනිය බලා පිටත් වන්නට සූදානම් වීමු.</verse>
				<verse number="11">ත්‍රෝවසෙන් නැව් නැගී අපි කෙළින්ම සමෝත්‍රාසයට ද ඉන්පසු දින නෙයාපොලිසට ද යාත්‍රා කළෙමු.</verse>
				<verse number="12">එතැනින් රෝම ජනපදයක් ද මකිදෝනියේ දිස්ත්‍රික්කයක ප්‍රධාන නුවරක් වූ පිලිප්පිය වෙත සේන්දු වී, ටික දවසක් එහි ගත කළෙමු.</verse>
				<verse number="13">නගර දොරටුවෙන් පිටත ගඟබඩ යාච්ඤා මෙහෙයක් පැවැත්වෙන තැනක් ඇතැයි අප සිතූ බැවින්, සබත් දවසේ එහි ගොස්, එහි රැස්ව සිටි ස්ත්‍රීන් අතර හිඳ, අපි ඔවුන් ඇමතුවෙමු.</verse>
				<verse number="14">අපට සවන් දෙමින් සිටියවුන් අතරේ ලිදියා නම් ස්ත්‍රියක් වූවා ය. තියාතිරා වාසී ඕ, දම් පැහැ සළු පිළි ව්‍යාපාරිකාවකි; දෙවියන්වහන්සේට වන්දනා මාන කළ තැනැත්තියකි. පාවුල් දෙසූ පණිවුඩයට අනුකූලතා දැක්වීමට දෙවියන්වහන්සේ ඇගේ හද විවර කළ සේක.</verse>
				<verse number="15">එබැවින් ඇය ද ඇගේ ගෘහ වාසීන් ද බව්තීස්ම ලද පසු ඕ, “මා සැබවින් ම ස්වාමින්වහන්සේ අදහන්නියකැයි ඔබ ඒත්තුගන්නේ නම්, අවුත් මගේ නිවසේ නවාතැන් ගන්නැ” යි අපට ඇරියුම් කර, අප ඊට කැමති කරවා ගත්තා ය.</verse>
				<verse number="16">වරක්, යාච්ඤා පැවැත්වෙන තැනට අප යද්දී එක් වහල් කෙල්ලක් අපට මුණ ගැසිණි. පේන කීමේ ආත්මයක් වැහී සිටි ඈ ශාස්ත්‍ර කීමෙන් ඇගේ හාම්පුතුනට මුදල් සම්භාරයක්ම උපයා දුන්නා ය.</verse>
				<verse number="17">මෙම තරුණිය, පාවුල් ඇතුළු අප පසුපස එමින්, “ගැලවීමේ මාර්ගය ඔබට පවසන මොවුන් මහෝත්තම දෙවියන්වහන්සේගේ දාසයින් යැ” යි මොර දුන්නා ය.</verse>
				<verse number="18">බොහෝ දවසක් ඇය මෙසේ කළ පසු, ඉන් උරණ වූ පාවුල්, තරුණිය දෙස ආපසු හැරී, යක්ෂාත්මය අමතා, “මැය වෙතින් දුරුව යන ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් මම නුඹට අණ කරමි” යි කීවේ ය. එකෙණෙහිම ඒ යක්ෂාත්මය ඇගෙන් දුරුව ගියේ ය.</verse>
				<verse number="19">එවිට ඇගේ හාම්පුත්තු, ලාභ ඉපැයීමේ තම බලාපොරොත්තු ගිලිහී ගිය බැව් දැක, පාවුල් හා සීලස් බලෙන්ම අල්ලා, වෙළඳ පොළට ඇදගෙන ගොස්, නිසි බලධාරීන් වෙත පැමිණ වූහ.</verse>
				<verse number="20">ඉන්පසු විනිසුරුවන් වෙත ඔවුන් ගෙන ගිය ඔවුහු, “මොවුන් යුදෙව්වො; මොවුන් අප නගරයේ මහ කැලඹීමක් ඇති කරමින්</verse>
				<verse number="21">රෝමවරුන් වූ අපට පිළිගැනීමට හා පිළිපැදීමට නීති විරෝධී චාරිත්‍ර උගන්වනවා” යි කීහ.</verse>
				<verse number="22">ඔවුන්ට පහර දීමට සමූහයා ද එක් වූහ. එවිට ඔවුන් දෙදෙනාගේ හැඳිවත් ඉරා, ඔවුන් කෝටු මස් කරන ලෙස විනිසුරුවෝ නියෝග කළහ.</verse>
				<verse number="23">මෙසේ ඉතා දැඩි සේ කෝටු පහර දෙනු ලැබූ පසු, ඔවුහු සිරගෙයි දමනු ලැබූහ. පරෙස්සමින් ඔවුන් මුර කරන ලෙසට සිරගෙදර නිලධාරියා අණ ලැබී ය.</verse>
				<verse number="24">එවැනි අණක් ලද බැවින්, ඔවුන් ඇතුළු සිර කුටියක ලූ හෙතෙම ඔවුන්ගේ පා දඬුකඳේ ගැසී ය.</verse>
				<verse number="25">රෑ මැදියමේ පමණ පාවුල් හා සීලස් යාච්ඤා කරන්නටත්, දෙවියන්වහන්සේට ගී ගයන්නටත් වූ අතර අනෙක් සිරකරුවෝ ඊට සවන් දෙමින් සිටියහ.</verse>
				<verse number="26">හදිසියේම සිරගෙයි අත්තිවාරම් දෙදරවමින් තදබල භූමිකම්පාවක් විය. සිරගෙදර දොරවල් සියල්ල එක්වනම ඇරී ගියේ ය. සිරකරුවන් සැමගේ බැඳි බැඳුම් ද ලිහී ගියේ ය.</verse>
				<verse number="27">සිරගෙයි නිලධාරියා අවදි විය. සිරගෙයි දොරවල් ඇරී තිබෙනු දුටු ඔහු, සිරකරුවන් පැන යන්නට ඇතැයි සිතා සිය දිවි හානිකර ගන්නට තම අසිපත අතට ගත්තේ ය.</verse>
				<verse number="28">එසැණේම, “කිසි අනතුරක් කරගන්න එපා! අප සැවොම මෙහි සිටිනවා” යි පාවුල් කෑගැසී ය.</verse>
				<verse number="29">එවිට, පන්දම් ඉල්ලා ගත් නිලධාරියා වහ වහා ඇතුළු සිර කුටියට වැද, වෙවුලමින් පාවුල් හා සීලස් ඉදිරියේ දණින් වැටුණේ ය.</verse>
				<verse number="30">ඉන්පසු සිර මැදිරියෙන් පිටතට ඔවුන් කැඳවාගෙන අවුත්, “මහත්වරුනි, ගැලවීම ලබන පිණිස මා කුමක් කළ යුතු දැ?” යි විමසී ය.</verse>
				<verse number="31">ඔවුහු පිළිතුරු දෙමින්, “යේසුස් ස්වාමින්වහන්සේ අදහා ගන්න. එවිට ඔබ ගැලවීම ලබනු ඇත; ඔබත් ඔබේ ගෙයි වැසි සියල්ලොත් යැ” යි පැවසූහ.</verse>
				<verse number="32">ඔවුහු ඉන්පසු ඔහුටත්, ඔහුගේ නිවසේ සෙසු සියල්ලන්ටත් ස්වාමින්වහන්සේගේ වචනය පහදා දුන්හ.</verse>
				<verse number="33">සිරගෙයි නිලධාරියා ඒ රැයේ, ඒ පැයේම ඔවුන් දෙදෙනාගේ තැලුම් තුවාල සේදුවේ ය. ඒ සමඟම ඔහුත්, ඔහුගේ ගෙයි වැසි සියල්ලොත් බව්තීස්ම ලදහ.</verse>
				<verse number="34">ඉන්පසු ඔවුන් සිය නිවසට කැඳවූ සිරගෙයි නිලධාරියා, ඔවුනට ආහාර පානාදියෙන් සංග්‍රහ කළේ ය. දෙවියන්වහන්සේ අදහා ගන්නට ලැබුණ බැවින් ඔහුත්, ඔහුගේ මුළු ගෘහවාසීනුත් සිටියේ ප්‍රීතියෙන් උතුරමිනි.</verse>
				<verse number="35">දවස උදා වෙද්දී විනිසුරුවෝ, “ඒ මිනිසුන් නිදහස් කරනු” යන නියෝගය රැගත් බලධාරීන් සිරගෙදර නිලධාරියා වෙත යැවූහ.</verse>
				<verse number="36">එවිට පාවුල් ඇමතූ සිරගෙයි නිලධාරියා, “ඔබ දෙපොළ නිදහස් කරන්නැයි විනිසුරුවන් නියෝගයක් එවලා; දැන් මින් පිට වී යෑමට ඔබට පුළුවනි; සමාදානයෙන් යන්නැ” යි පැවසී ය.</verse>
				<verse number="37">එහෙත් පාවුල් ඔවුන්ට පිළිතුරු දෙමින්, “අප රෝම පුරවැසියන්ව සිටියදීත්, නඩු විභාගයකින් තොරව, ඔවුන් අපට ප්‍රසිද්ධියේම තැලුවා; සිරගෙයි ද දැමුවා. දැන් ඔවුන්ට උවමනා වී ඇත්තේ හොර රහසේම අප නිදහස් කර හරින්නට ද? නෑ; එහෙම බැහැ; ඔවුන්ම ඇවිත් අප පිටතට ගෙන ගියා වේ” යි කීවේ ය.</verse>
				<verse number="38">නිලධාරීහු ඒ වග විනිසුරුවන්ට සැල කළහ. පාවුල් හා සීලස් රෝම පුරවැසියනැයි ඇසූ විනිසුරුවෝ තැති ගත්හ.</verse>
				<verse number="39">එබැවින් ඔවුහු සිර ගෙදරට අවුත්, ඔවුනට කණගාටුව ප්‍රකාශ කර, ඔවුන් දෙදෙන සිර ගෙයින් පිටතට කැඳවාගෙන අවුත් ඒ නගරයෙන් පිටමංව යන ලෙස ඉල්ලූහ.</verse>
				<verse number="40">සිර ගෙයින් පිටතට ආ පාවුල් හා සීලස් ලිදියාගේ නිවසට ගියහ. එහිදී හමු වූ සහෝදරයින් දිරිගැන්වූ ඔවුහු පිටත්ව ගියහ.</verse>
			</chapter>
			<chapter number="17">
				<verse number="1">ඔවුහු අම්පිපොලිස හා අපොලෝනිය පසු කොට, යුදෙව් සිනගෝගයක් තිබූ තෙසලෝනිකය වෙත පැමිණියහ.</verse>
				<verse number="2">පාවුල් සුපුරුදු ලෙස එම සිනගෝගයට ගොස්, සබත් දවස් තුනක් ම ඔවුන් සමඟ තර්ක කළේ ය. ඔහු ශුද්ධ ලියවිලි පාඨ ගෙන හැර පාමින්,</verse>
				<verse number="3">ක්‍රිස්තුස්වහන්සේ පීඩා විඳින්නටත්, මළවුන්ගෙන් නැගිටින්නටත් නියමව සිටි වග සනාථ කරමින්, ඔවුන්ට කරුණු පැහැදිලි කළේ ය. තවද, “මා ඔබට ප්‍රකාශ කරන මේ යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේම යැ” යි පැවසී ය.</verse>
				<verse number="4">ඔවුන්ගෙන් ඇතමකුට ඒ කියමන ඒත්තු ගන්වන ලදින්, ඔවුහු පාවුල්ට හා සීලස්ට එකතු වූහ. දේව භක්තික ග්‍රීක ජාතිකයින් බොහෝ දෙනෙක් ද කුල ස්ත්‍රීන් කීප දෙනෙක් ද එසේම ඔවුන්ට එක් වූහ.</verse>
				<verse number="5">එහෙත් යුදෙව්වෝ ඊර්ෂ්‍යාවෙන් යුතුව, මඟ තොට හුන් මැරවරයින් කීප දෙනෙක් කැඳවා, දාමරික කල්ලියක් හදා නගරය තුළ කැලඹීම් ඇති කරන්නට වන්හ. ඔවුහු පාවුල් හා සීලස් අල්ලා, සමූහයා ඉදිරියට ගෙන යෑමේ අදිටනින් ඔවුන් සොයා ජේසන්ගේ නිවසට කඩා වැදුණහ.</verse>
				<verse number="6">එහෙත් එහිදී ඔවුන් හමු නො වූ බැවින්, ඔවුහු ජේසන් ද සහෝදරයින් තවත් කීප දෙනකු ද අල්ලා, නගර බලධාරීන් වෙත ඔවුන් ගෙන යමින් කෑ මොර දෙන්නට වන්හ, “ලොව හැම තැන පෙරළි ඇති කළ මිනිස්සු මෙන්න! දැන් මෙහාටත් ඇවිල්ලා.</verse>
				<verse number="7">මේ ජේසන් ඔහුගේ නිවසේම ඔවුන්ට නවාතැන් දීලා. මොවුන් සැවොම සීසර්ගේ නියෝගවලට විරුද්ධව යේසුස් නමින් වෙනත් රජෙක් ඇතැයි කියනවා” යි කීහ.</verse>
				<verse number="8">ඒ ඇසූ ජන සමූහයා ද නගර බලධාරීහු ද මහත් ගාලගෝට්ටියකට මැදි වූහ.</verse>
				<verse number="9">ඉන්පසු නගර බලධාරීහු ජේසන්ගෙන් හා අනෙක් සහෝදරයින්ගෙන් ඇප-මුදල් ගෙන ඔවුන් නිදහස් කළහ.</verse>
				<verse number="10">රෑ වූ විගස සහෝදරයෝ පාවුල් හා සීලස් බෙරියා වෙත පිටත් කළහ. බෙරියා වෙත පැමිණි ඔවුහු, එහි යුදෙව් සිනගෝගයට ගියහ.</verse>
				<verse number="11">බෙරියයෝ තෙසලෝනිකයින්ට වඩා මහත්මා ගති ඇත්තෝ වූහ. පණිවුඩය බලවත් ඕනෑකමින් පිළිගත් ඔවුහු පාවුල් කී දෑ සත්‍යදැයි බලන්නට දිනපතා ශුද්ධ ලියවිලි පිරික්සූහ.</verse>
				<verse number="12">මෙසේ යුදෙව්වෝ බොහෝ දෙනෙක් අදහා ගත්හ. ග්‍රීක කුල ස්ත්‍රීන් මෙන්ම ග්‍රීක මිනිසුන් මහත් ගණනාවක් ද අදහා ගත්හ.</verse>
				<verse number="13">පාවුල් බෙරියාහි දෙවියන්වහන්සේගේ වචනය දේශනා කරන වග ඇසූ තෙසලෝනිකයේ යුදෙව්වෝ එහි ද ගොස් සමූහයා කලඹා කලබල ඇති කරන්නට වන්හ.</verse>
				<verse number="14">එබැවින් සහෝදරයෝ ඒ විගස පාවුල් මුහුදු වෙරළට පිටත් කර යැවූහ. එහෙත් සීලස් හා තිමෝති බෙරියාහි නතර වූහ.</verse>
				<verse number="15">පාවුල් ඇරලීමට ගිය අය ඇතන්ස් නගරය දක්වාම ඔහු හා ගියහ. ඔවුන් ආපසු හැරී ආවේ, හැකි ඉක්මනින් තමා හා එක් වන ලෙස සීලස්ටත්, තිමෝතිටත් ඔහු දුන් උපදෙස් ද රැගෙන ය.</verse>
				<verse number="16">ඔවුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් පාවුල් ඇතන්ස්හි නතරව සිටියදී, නගරය පුරා දේව පිළිම දක්නට ලැබීමෙන් ඔහුගේ ආත්මය මහත් සේ සසල විය.</verse>
				<verse number="17">එබැවින් ඔහු සිනගෝගයේදී යුදෙව්වන් හා දේව භක්තික ග්‍රීකයින් සමඟ ද වෙළඳ පොළට දිනපතා ගොස්, එහිදී ඔහුට හමුවූවන් සමඟ ද තර්ක කළේ ය.</verse>
				<verse number="18">එහිදී එපිකූරිය හා ස්තෝයික දාර්ශනිකයින් කණ්ඩායමක් ද ඔහුට මුණ ගැසුණහ. ඔවුන්ගෙන් ඇතමෙක්, “මේ වාචාලයා කියන්නට අර අඳින්නේ මොනවා දැ?” යි පැවසූහ. සෙසු අය අදහස් දක්වමින්, “මොහු විදේශ දෙවිවරුන් ප්‍රචාරය කරන්නකු සේ පෙනේ” යි කීහ. එසේ කීවේ, පාවුල් යේසුස්වහන්සේ ගැන ද මරණින් නැගිටීම ගැන ද දේශනා කළ බැවිනි.</verse>
				<verse number="19">එබැවින් ඔවුහු අරියෝපග රැස්වීම් සභාවට පාවුල් අල්ලාගෙන ගොස්, “ඔබ හඳුන්වා දෙන මේ අලුත් ඉගැන්වීම අපටත් දැනගත හැකි ද?</verse>
				<verse number="20">ඔබ දෙසන සමහර අදහස් අපේ කන්වලට හරි අමුතුයි. එනිසා ඒවායේ අර්ථ දැනගැනීමට අප කැමතියි” පැවසූහ.</verse>
				<verse number="21">සියලු ඇතන්ස්වරුන් ද එහි විසූ විදේශීන් ද ඔවුන්ගේ මුළු කාලයම පාහේ ගත කළේ, නවතම මත අදහස් පල කරමින් හා ඒවාට සවන් දෙමින් මිස, අන් හැටියකින් නො වේ.</verse>
				<verse number="22">එවිට පාවුල් අරියෝපග රැස්වීම් සභාව ඉදිරියේ නැගිට, මෙසේ පැවසී ය: “ඇතන්ස්හි මිනිසුනි! ඔබ හැම අතින්ම ආගම දහමට ලැදි අය බව මට පෙනේ.</verse>
				<verse number="23">ඔබේ නමස්කාරයට පාත්‍ර වූ වස්තූන් ඕනෑකමින් බලමින් මා ඒ මේ අත යද්දී, නාම පුවරුවක් ඇති පූජාසනයක් දැක්කා: නාඳුනන දෙවියකුට ය. දැන් මා ඔබට ප්‍රකාශ කරන්නට යන්නේ එසේ නෑඳින ඔබ නමස්කාර කරන දේ ගැනයි.</verse>
				<verse number="24">“ලෝකයත් එහි ඇති සියල්ලත් සෑදූ දෙවියන්වහන්සේ ස්වර්ගයේත්, පොළොවේත් ස්වාමින්වහන්සේ බැවින්, උන්වහන්සේ මිනිස් අතින් සාදන මාලිගාවල නො වසන සේක.</verse>
				<verse number="25">හැම සතහට ජීවනය ද හුස්ම ද අන් සියලු දේ ද සපයා දෙන උන්වහන්සේ යම් හිඟකමක් ඇති කෙනකු සේ මිනිස් අත්වලින් ඇප උපස්ථාන නො ලබන සේක.</verse>
				<verse number="26">මුළු පොළෝ තලය මත වාසය කරන පිණිස, උන්වහන්සේ එක් මිනිසකුගෙන් ලොව හැම මිනිස් ජාතියක්ම මැවූ සේක්, ඔවුන් සිටිය යුතු කාල වකවානු ද විසිය යුතු ස්ථාන සීමාවන් ද නියම කළ සේක.</verse>
				<verse number="27">එසේ කළේ, මිනිසුන් දෙවියන්වහන්සේ සොයා, අතපත ගාමින් හෝ උන්වහන්සේ හමුවන පිණිස ය. එසේ වුව ද උන්වහන්සේ සිටින්නේ, අප හැම කෙනකුටම ඈතින් නො වේ.</verse>
				<verse number="28">මන්ද, ‘අප ජීවත් වන්නේත්, හැසිරෙන්නේත්, අපේ පැවැත්ම ඇත්තේත් උන්වහන්සේ තුළ යැ’ යි ඔබේම කවීන් කියා ඇති පරිදි, ‘උන්වහන්සේගේ දරුවෝ අප ය.’</verse>
				<verse number="29">“එබැවින් අප, දෙවියන්වහන්සේගේ දරුවන් නම්, මිනිස් සැලැස්මෙන් හා නිපුණත්වයෙන් නෙළන ලද රන්, රිදී හෝ ගල් රූපයකට දේව ස්වභාව සමානයයි නො සිතිය යුතුයි.</verse>
				<verse number="30">නො දැනුවත්කමේ කාලවලදී දෙවියන්වහන්සේ ඒ ගැන නො සැලකූ නමුත් දැන් හැම තැන, හැම ජන කොටසකටම පසුතැවිලි වන්නට අණ කරන සේක.</verse>
				<verse number="31">මන්ද තමන් විසින් තෝරා ගන්නා ලද මනුෂ්‍යයා ලවා උන්වහන්සේ ලෝකයා ධර්මිෂ්ඨව විනිශ්චය කරන දවසක් දෙවියන්වහන්සේම නියම කොට තිබේ. එම මනුෂ්‍යයා මළවුන්ගෙන් නැගිටුවීම තුළින් උන්වහන්සේ සකල ජනයාට ම මේ සම්බන්ධව සහතිකයක් දී තිබේ.”</verse>
				<verse number="32">මළවුන්ගෙන් නැගිටීම ගැන ඇසූ ඔවුන්ගෙන් ඇතමෙක් සමච්චල් කරන්නට වන්හ. එහෙත් සෙසු අය, “මේ සම්බන්ධව නැවතත් ඔබ කතා කරනවා අසන්නට අප කැමතියි” කීහ.</verse>
				<verse number="33">මේ අවස්ථාවේ පාවුල් රැස්වීමෙන් ඉවත්ව ගියේ ය.</verse>
				<verse number="34">ස්වල්ප දෙනෙක් ඔහුට එකතු වී අදහා ගත්හ. අරියෝපග සාමාජික දියෝනිසියස් ද දමරිස් නම් වූ ස්ත්‍රියක් ද තවත් ගණනාවක් ද ඒ අතර වූහ.</verse>
			</chapter>
			<chapter number="18">
				<verse number="1">මින් අනතුරුව පාවුල් ඇතන්ස් අත්හැර කොරින්තිය බලා ගියේ ය.</verse>
				<verse number="2">අකිලා නම් යුදෙව්වෙක් එහිදී ඔහුට මුණ ගැසිණි. පොන්තස් වැසියකු වූ හෙතෙම කලක් ඉතාලියේ විසූවෙකි. සියලු යුදෙව්වන් රෝමයෙන් පිට මං විය යුතු බවට ක්ලෝදියස් නියෝග කර තිබූ බැවින්, ඔහු තම භාර්යාව වූ ප්‍රිස්කිලා සමඟ මෑතකදී කොරින්තිය වෙත පැමිණ සිටියේ ය. පාවුල් ඔවුන් මුණ ගැසෙන්නට ගියේ ය.</verse>
				<verse number="3">ඔහු ද ඔවුන් ද එකම කර්මාන්තය කළ තැනැත්තන් බැවින් ඔහු ඔවුන් සමඟ නැවතී, වැඩ කළේ ය. ඔවුන්ගේ වෘත්තිය කූඩාරම් සෑදීම ය.</verse>
				<verse number="4">ඔහු හැම සබතක සිනගෝගයේ යුදෙව්වන් මෙන්ම ග්‍රීකයන් සමඟ ද තර්ක කරමින් ඔවුන්ට ඒත්තු ගැන්වීමට වෙර දැරී ය.</verse>
				<verse number="5">සීලස් හා තිමෝති මකිදෝනියේ සිට පැමිණි පසු, යේසුස්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේම යැයි යුදෙව්වන්ට සාක්ෂි දරමින් වචනය දේශනා කිරීමට පාවුල් මුළුමනින්ම කැප වූයේ ය.</verse>
				<verse number="6">එහෙත් යුදෙව්වන් විරෝධය පාමින්, අපහාස කරන්නට වූ කල, පාවුල් තම ඇඳුම් ගසා දමමින්, “නුඹලාගේ ලේ නුඹලාගේම හිස් පිට වේවා! මගේ වගකීමෙන් මා නිදොස්; මෙතැන් පටන් මා අන්‍ය-ජාතීන් වෙත යනවා” යි කීවේ ය.</verse>
				<verse number="7">ඉන්පසු එහි යෑම අත්හළ පාවුල් සිනගෝගයට යාබද නිවස, දෙවියන්වහන්සේට නමස්කාර කරන්නකු වූ තිතියුස් යුස්තස්ගේ නිවස වෙත ගියේ ය.</verse>
				<verse number="8">සිනගෝග පාලක ක්‍රිස්පස් ද ඔහුගේ ගෘහවාසී සියල්ලෝ ද ස්වාමින්වහන්සේ අදහා ගත්හ. පාවුල්ගේ දේශනා ඇසූ කොරින්තිවරු බොහෝ දෙනෙක් ද අදහා බව්තීස්ම ලදහ.</verse>
				<verse number="9">ස්වාමින්වහන්සේ රාත්‍රියේදී දර්ශනයකින් පාවුල්ට කතා කොට, “බය වන්න එපා; දිගටම කතා කරන්න; නිහඬව නො සිටින්න.</verse>
				<verse number="10">මා ඔබ සමඟයි; කිසිවකු ඔබට පහර දී අනතුරු කරන්නේ නැත. මන්ද මේ නගරයේ බොහෝ ජනකායක් මට සිටිනවා” යි පැවසූ සේක.</verse>
				<verse number="11">එබැවින් පාවුල් ඔවුන්ට වචනය උගන්වමින්, එක් අවුරුදු හය මසක් එහි නැවතී සිටියේ ය.</verse>
				<verse number="12">එහෙත් ගලියෝ, අකායේ පළාත් ආණ්ඩුකරු ව සිටියදී, යුදෙව්වෝ පාවුල්ට එරෙහිව එක්සත්ව නැගිට, උසාවියට ඔහු ගෙන අවුත්,</verse>
				<verse number="13">“මේ මිනිහා දහම් නීතියට පටහැනි විදියට දෙවියන්වහන්සේට නමස්කාර කරන්නට ජනයා පොලඹවනවා” යි කියමින් චෝදනා කළහ.</verse>
				<verse number="14">එහෙත් පාවුල් මුව විවර කරත්ම, යුදෙව්වන් ඇමතූ ගලියෝ, “යුදෙව්වනි, නුඹලාගේ පැමිණිල්ල කිසියම් අයුත්තක් හෝ බරපතළ අපරාධයක් ගැන නම්, මා ඊට සවන් දීම යුක්ති සහගතයි;</verse>
				<verse number="15">එහෙත් එය වචන, නාම හා නුඹලාගේ දහම් නීතිය ගැන ගැටළු බැවින් නුඹලාම ප්‍රශ්නය විසඳා ගනිල්ලා. මේ දේවල් ගැන මම විනිශ්චයකරුවෙක් නො වන්නෙමි” යි කීවේ ය.</verse>
				<verse number="16">මෙසේ, ගලියෝ උසාවියෙන් ඔවුන් පලවා හැරියේ ය.</verse>
				<verse number="17">එවිට ඔවුන් සැවොම සිනගෝග පාලක සොස්තෙනස් අල්ලා, උසාවිය ඉදිරියේම ඔහුට තැළුෑහ. එහෙත් ගලියෝ ඒ ගැන තැකීමක් කළේ නැත.</verse>
				<verse number="18">පාවුල් මද කලක් කොරින්තියෙහි ගත කර, සහෝදරයින්ගෙන් සමුගෙන, ප්‍රිස්කිලා හා අකිලා ද සමඟ සිරියා බලා නැව් නැංගේ ය. ඔහු තමා වූ බාරයක් ඔප්පු කරමින්, කෙන්ක්‍රයාහි දී තම හිස මුඩු කරවා ගත්තේ ය.</verse>
				<verse number="19">ඔවුහු එපීසය වෙත පැමිණියහ. එහිදී ප්‍රිිස්කිලා හා අකිලාගෙන් වෙන් වූ පාවුල් සිනගෝගයට ගොස්, යුදෙව්වන් හා තර්ක කළේ ය.</verse>
				<verse number="20">තමන් සමඟ කලක් නැවතී සිටින්නැයි ඔවුන් ඉල්ලූ නමුදු, පාවුල් එය ප්‍රතික්ෂේප කළේ ය.</verse>
				<verse number="21">එහෙත් ඔහු ඔවුන්ගෙන් සමු ගනිද්දී, “දෙවියන්වහන්සේ කැමති සේක් නම්, මා නැවත මෙහි එනවා” යි ඔවුන්ට පැවසී ය. මෙසේ ඔහු එපීසය වෙතින් නැව් නැග,</verse>
				<verse number="22">කායිසාරියට ගොඩ බැස්සේ ය. ඔහු ගොස් සභාව හමු වී, ඔවුනට ආචාර කොට, අන්තියෝකියට ගියේ ය.</verse>
				<verse number="23">කලක් එහි ගත කළ ඔහු පිටත්ව, ගලාතිය හා පිරිගිය පෙදෙස් ඔස්සේ තැනකින් තැනකට ගමන් කළේ සියලු ගෝලයින් ධෛර්යවත් කරමිනි.</verse>
				<verse number="24">මේ අතර ඇලෙක්සන්ද්‍රීය වාසී අපොල්ලොස් නම් යුදෙව්වෙක් එපීසය වෙත ආවේ ය. ඔහු උගතෙකි; ශුද්ධ ලියවිලි පිළිබඳ විශාරදයෙකි.</verse>
				<verse number="25">ස්වාමින්වහන්සේගේ මාර්ගය පිළිබඳව යමකු ඔහුට කරුණු කියා දී තිබිණි. ඔහු උද්යෝගිමත් ආත්මයෙන් යුතුව යේසුස්වහන්සේ ගැන නිවැරදිව ඉගැන්වී ය. එහෙත් ඔහු දැන සිටියේ යොහන්ගේ බව්තීස්මය පමණකි.</verse>
				<verse number="26">ඔහු සිනගෝගයේදී නිර්භයව කතා කරන්නට වන් කල, ඒ ඇසූ ප්‍රිස්කිලා හා අකිලා තම නිවසට ඔහු කැඳවා, දෙවියන්වහන්සේගේ මාර්ගය වඩා නිවැරදිව ඔහුට පහදා දුන්හ.</verse>
				<verse number="27">අකාය වෙත යෑමට අපොල්ලොස්ට ඕනෑ වූ කල සහෝදරයෝ ඔහු දිරිමත් කොට, සාදරයෙන් ඔහු පිළිගන්නා ලෙස එහි ගෝලයින්ට ලියා යැවූහ. දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් අදහා සිටියවුනට අපොල්ලොස්ගේ පැමිණීම මහත් පිළිසරණක් විය.</verse>
				<verse number="28">ක්‍රිස්තුස්වහන්සේ, යේසුස්වහන්සේම බව ශුද්ධ ලියවිල්ල මඟින් සනාථ කරමින්, ප්‍රසිද්ධ විවාදවලදී ඔහු ප්‍රබලව යුදෙව්වන් පැරදවී ය.</verse>
			</chapter>
			<chapter number="19">
				<verse number="1">අපොල්ලොස් කොරින්තියෙහි සිටියදී, පාවුල් රට මැද්දෙන් ගමන් කර, එපීසය වෙත ළඟා විය. එහිදී ඔහුට ගෝලයින් ඇතමකු හමු වී,</verse>
				<verse number="2">ඔවුන් අමතමින්, “ඔබ, යේසුස්වහන්සේ අදහාගත් කල ශුද්ධාත්මයාණන් ලැබුවේදැ?” යි ඇසී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “නැහැ; ශුද්ධාත්මයාණන් කියා කෙනකු සිටින වග අප අහලාවත් නැතැ” යි කීහ.</verse>
				<verse number="3">“එසේ නම් ඔබ ලැබුවේ කවර බව්තීස්මයක් දැ?” යි පාවුල් ඇසී ය. “යොහන්ගේ බව්තීස්මය” යැයි ඔවුහු පිළිතුරු දුන්හ.</verse>
				<verse number="4">එවිට පාවුල්, “යොහන්ගේ බව්තීස්මය පසුතැවිල්ලේ බව්තීස්මයකි. ඔහු ජනතාවට කීවේ තමාට පසුව එන තැනැත්තාණන් අදහා ගන්නා ලෙසයි. ඒ යේසුස්වහන්සේ යැ” යි පැවසී ය.</verse>
				<verse number="5">ඒ ඇසූ ඔවුහු යේසුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්ම කරන ලදහ.</verse>
				<verse number="6">ඉන්පසු පාවුල් ඔවුන් පිට අත් තැබූ කල්හි, ශුද්ධාත්මයාණෝ ඔවුන් කරා පහළ වූ සේක. එවිට ඔවුහු අන්‍ය භාෂාවලින් කතා කරන්නටත්, දිවැස් වැකි පවසන්නටත් වන්හ.</verse>
				<verse number="7">ඔවුන් සියල්ලෝ මිනිසුන් දොළොස් දෙනෙක් පමණ වූහ.</verse>
				<verse number="8">පාවුල් සිනගෝගයට ගොස්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන නිර්භීතව වාද කරමින් හා සිත් පොලඹවන අයුරින් තුන් මසක් කතා කළේ ය.</verse>
				<verse number="9">එහෙත් ඔවුන්ගෙන් ඇතමෙක් අදහා ගැනීම ප්‍රතික්ෂේප කරමින්, මුරණ්ඩුව ඒ ධර්ම-මාර්ගයට අවමන් කළහ. එවිට පාවුල් ඔවුන්ගෙන් වෙන්ව, ගෝලයින් කැටිව, තුරානස්ගේ දේශන ශාලාවෙහි දිනපතා තර්ක කරමින් සිටියේ ය.</verse>
				<verse number="10">දෙවසරක කාලයක් එලෙසින් සිදු විය. මෙසේ ආසියා කලාපයේ විසූ යුදෙව් හා ග්‍රීක ජාතිකයින් හැමදෙනා ස්වාමින්වහන්සේගේ වචනය ඇසූහ.</verse>
				<verse number="11">දෙවියන්වහන්සේ පාවුල් මඟින් අසාමාන්‍ය හාස්කම් සිදු කළ සේක.</verse>
				<verse number="12">පාවුල්ගේ ස්පර්ශය ලද ලේන්සුවක් හෝ රෙදි කඩක් හෝ වුව ද, රෝගීන් වෙත ගෙන ගිය කල, ඔවුන්ගේ රෝග දුරු විය. යක්ෂාත්මයෝ ද ඔවුන්ගෙන් දුරු වූහ.</verse>
				<verse number="13">තැන තැන යමින් යකැදුරුකම් කළ යුදෙව්වන් ඇතමෙක්, යක්ෂාත්මාවේශවූවන්ට යේසුස් ස්වාමින්වහන්සේගේ නාමය කියන්නට භාරගෙන, “පාවුල් දේශනා කරන යේසුස්වහන්සේගේ නාමයෙන් දුරුව යන ලෙස මම නුඹට අණ කරමි” යි කියන්නට වන්හ.</verse>
				<verse number="14">ස්කෙවා නම් වූ ප්‍රධාන යුදෙව් පූජකයකුගේ පුතුන් හත්දෙනා එසේ කරන්නට වන්හ.</verse>
				<verse number="15">එවිට දුෂ්ටාත්මය පිළිතුරු දෙමින්, “යේසුස්වහන්සේ මම දනිමි; පාවුල් ද හඳුනමි; එහෙත්, නුඹලා කවුරු දැ?” යි ඇසී ය.</verse>
				<verse number="16">එවිට දුෂ්ටාත්මය වැහී සිටි මිනිසා ඔවුන් පිට පැන, ඔවුන් හැම යට කර දැම්මේ ය. ඔහු කෙතරම් සැහැසිව ඔවුන්ට පහර දුන්නේ ද යත් ඔවුහු තුවාල වී නිර්වස්ත්‍රව, ඒ නිවසින් පැන දිවූහ.</verse>
				<verse number="17">එපීසයේ විසූ යුදෙව් හා ග්‍රීක සියල්ලන් මෙය දැනගත් කළ, ඒ සැවොම බියෙන් ඇලළී ගියහ. යේසුස් ස්වාමින්වහන්සේගේ නාමය ද ඉහළම ගෞරවයට පාත්‍ර විය.</verse>
				<verse number="18">අදහාගත් බොහෝ දෙනෙක් අවුත්, තමන්ගේ දුෂ්ට අභ්‍යාස ගැන ප්‍රසිද්ධියේ පාපොච්චාරණ කළහ.</verse>
				<verse number="19">මන්තර ගුරුකම්වල නියැළුණු තවත් බොහෝ දෙනෙක් ද තමන්ගේ මන්තර පොත් ගෙන අවුත්, ඒවා සියල්ලන් පුලුස්සා දැමූහ. ඒවායේ මිල ගණන් බැලූ කල ඒ සියල්ල රිදී මිල පනස් දහසක් බව දැනගන්නා ලදී.</verse>
				<verse number="20">ස්වාමින්වහන්සේගේ වචනය මේ අන්දමින් වඩ වඩා පැතිරිණි; බලයෙන් ද සපිරිණි.</verse>
				<verse number="21">මේ සියල්ල සිදු වූ පසු පාවුල් මකිදෝනිය හා අකාය හරහා යෙරුසලම බලා යෑමට තීරණ කළේ ය. “යෙරුසලමට ගියාට පසු මා රෝමයත් දකින්න යා යුතු යැ” යි ඔහු පැවසී ය.</verse>
				<verse number="22">සිය සහායකයින් වූ තිමෝති හා එරස්තස් මකිදෝනිය වෙත පිටත් කළ පාවුල්, තවත් මඳ කලක් ආසියා කලාපයේ ගත කළේ ය.</verse>
				<verse number="23">මෙකල ධර්ම-මාර්ගය ගැන මහත් කැලඹීමක් හට ගැනිණි.</verse>
				<verse number="24">දෙමිත්‍රියස් නම් රිදීකරු, අර්තෙමිස් දේවතාවියගේ රිදී පිළිම-කූඩු සෑදීමෙන් රිදී කර්මාන්ත ශිල්පීනට සලසා දුන්නේ සුළු පටු ව්‍යාපාරයක් නො වේ.</verse>
				<verse number="25">ඔවුන් ද එම කර්මාන්තයට අදාළ අනිකුත් ශිල්පීන් ද එක්රැස් කළ හෙතෙම, “මිනිසුනි, මේ ව්‍යාපාරයෙන් අපට හොඳ ආදායම් ලැබෙන බව ඔබ දන්නවා.</verse>
				<verse number="26">එහෙත් මේ මිනිසා, පාවුල් එපීසයෙහි පමණක් නො ව ආසියා කලාපය පුරා මහත් ගණනාවක් ජනයා තම පැත්තට හරවාගෙන, ඔවුන් මුළා කරන හැටි ඔබ අසනවා; ඔබ දකිනවා; ඔහු කියන්නේ, මිනිස් අතින් සාදන දෙවිවරු සැබෑ දෙවිවරු නො වේ කියලයි.</verse>
				<verse number="27">මෙහි අවදානම අපේ මේ කර්මාන්තය අපකීර්තියට පත්වීම පමණක් නො වේ; අපගේ ශ්‍රේෂ්ඨ අර්තෙමිස් දේවතාවියගේ දේවාලයත් අවමානයට පත් වීමයි. ආසියා කලාපයේ පමණක් නො ව මුළු ලෝකයේම වන්දනා මාන ලබන ඇගේ අභිමානය ද දියවී යනු ඇතැ” යි කීවේ ය.</verse>
				<verse number="28">ඒ ඇසූ ඔවුහු කෝපාවිෂ්ට වී, “එපීසයන්ගේ අර්තෙමිස් උත්තමාවී” කියමින් කෑ මොර දෙන්නට වූහ.</verse>
				<verse number="29">සැණෙකින් මුළු නගරය පුරා මහත් ගාලගෝට්ටියක් පැන නැඟිණි. ඔවුහු පාවුල්ගේ ගමන් සගයින් වූ මකිදෝනියෙහි ගායස් හා අරිස්තාර්කස් අල්ලා, ඇදගෙන රංග පීඨයට කඩා වැදුණහ.</verse>
				<verse number="30">ජනකාය ඉදිරියට යෑමට පාවුල්ට ඕනෑ වුව ද, ගෝලයෝ ඊට ඉඩ නුදුන්හ.</verse>
				<verse number="31">පාවුල්ගේ මිතුරන් වූ ආසියා කලාපයේ ඇතැම් නිලධාරීහු පවා ඔහුට පණිවුඩ එවමින් රංග පීඨයේ අවදානමට මැදි නො වන ලෙස ඉල්ලූහ.</verse>
				<verse number="32">රැස් වූ පිරිස අතර වූයේ දැඩි වියවුලකි. ඇතැම්හු එකක් ද තවත් අය තවෙකක් ද කියමින් කෑ මොර දුන්හ. තමන් මෙහි සිටින්නේ කුමක් නිසා ද යන්න පවා වැඩිදෙනා දැන සිටියේ නැත.</verse>
				<verse number="33">යුදෙව්වෝ, පිරිස ඉදිරියට ඇලෙක්සැන්ඩර් තල්ලු කළහ. එවිට ඔවුහු මේ මේ ලෙස කරන්නැයි ඔහුට කෑ ගැසූහ. එවිට කරුණු පහදනු පිණිස නිශ්ශබ්ද වන ලෙස ඔහු සංඥා කළේ ය.</verse>
				<verse number="34">එහෙත් ඔහු යුදෙව්වකු බව වටහා ගත් ඔවුහු සියල්ලෝ, “එපීසයන්ගේ අර්තෙමිස් උත්තමාවී” යි එක හඬින් දෙපැයක් පමණ තිස්සේ කෑ මොර දෙන්නට වූහ.</verse>
				<verse number="35">රැස්ව සිටි සෙනඟ සන්සුන් කළ නගර ලේකම්, “එපීස වැසියනි, ශ්‍රේෂ්ඨ අර්තෙමිස්ගේ දේවාලයේ ද අහසින් වැටුණු ඇගේ ප්‍රතිමාවේ ද ආරක්ෂකයා මේ එපීසය නගරය බව නො දන්නේ කවුරු ද?</verse>
				<verse number="36">මේවා ප්‍රතික්ෂේප කළ නො හැකි කරුණු බැවින්, ඔබ සන්සුන්ව කලබල නො වී සිටිය යුතුයි.</verse>
				<verse number="37">නුඹලා අල්ලාගෙන ආ මේ මිනිසුන් දේවාල කොල්ලකන්නන්වත්, අපගේ දේවතාවියට අපහාස කරන්නන්වත් නො වේ.</verse>
				<verse number="38">දෙමිත්‍රියස් හා ඔහුගේ මිත්‍ර කර්මාන්තකරුවන් අත යම් කෙනකුට විරුද්ධව යම් පැමිණිල්ලක් ඇත්නම්, ඒ සඳහා උසාවි යා හැකියි; නඩු විසඳන බලධරයින් සිටී. තම පැමිණිලි කරන්නට ඔවුන්ට පුළුවන්.</verse>
				<verse number="39">ඊටත් වඩා ඉහළට ඉදිරිපත් කළ යුතු චෝදනා ඇත්නම් නීති බලධාරීන්ගේ සැසියේදී ඒවා විසඳනු ඇති.</verse>
				<verse number="40">අද දවසේ පැන නැගුණු කලබලය ගැන අපට විරුද්ධව චෝදනා නැගෙන්නට ඉඩ තියෙනවා. කිසි හේතුවක් නැතිව පැන නැගුණු මේ කෝලාහලය ගැන ප්‍රශ්න කරනු ලැබුවහොත්, ඊට දිය හැකි නිසි පිළිතුරක් අපට නැතැ” යි පැවසී ය.</verse>
				<verse number="41">එසේ පැවසූ ඔහු රැස් වී සිටියවුන් විසුරුවා හැරියේ ය.</verse>
			</chapter>
			<chapter number="20">
				<verse number="1">කලබලය සංසිඳුණු පසු, ගෝලයින් කැඳවූ පාවුල්, ඔවුන් ධෛර්යවත් කර, ඔවුන්ගෙන් සමුගෙන මකිදෝනිය බලා පිටත් විය.</verse>
				<verse number="2">එපෙදෙස් ඔස්සේ ගමන් කරමින්, ඇදහිලිවතුන් ධෛර්යවත් කළ ඔහු, අනතුරුව ග්‍රීසියට ළඟා වී,</verse>
				<verse number="3">එහි තුන් මසක් ගත කළේ ය. පසුව ඔහු සිරියා බලා නැව් නඟින්නට සූදානම් වෙද්දී, යුදෙව්වන් ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයක් කළෙන්, මකිදෝනිය හරහා ආපසු යෑමට ඔහු තීරණ කළේ ය.</verse>
				<verse number="4">ඔහු සමඟ පුරස්ගේ පුත් බෙරියාහි සෝපතර් ද තෙසලෝනික අරිස්තාර්කස් හා සෙකුන්දස් ද දර්බයෙහි ගායස් හා තිමෝති ද ආසියා කලාපයේ තුකිකස් හා ත්‍රොපිමස් ද ගමන් ගත්හ.</verse>
				<verse number="5">අපට පෙරටුව පිටත්ව ගිය ඔවුහු අප එන තෙක් ත්‍රෝවසයේ බලා සිටියහ.</verse>
				<verse number="6">එහෙත් නුමුහුන් රොටි මංගල්‍යයෙන් පසු, පිලිප්පි වෙතින් නැව් නැගුණු අපි, දවස් පහකට පසු ත්‍රෝවසයේදී ඔවුන්ට එක් වුණෙමු. අපි එහි හත් දවසක් නැවතී සිටියෙමු.</verse>
				<verse number="7">සතියේ පළමු දවසේ රොටි කැඩීමට අපි එක්රැස් වුණෙමු. එහි රැස්වූවන්ට පාවුල් දේශනා කළේ ය. ඊළඟ දවසේ එපෙදෙසින් සමු ගැනීමට අදහස් කළ බැවින්, රෑ මැදියම වන තුරුත් ඔහු දිගටම කතා කළේ ය.</verse>
				<verse number="8">අප රැස්ව සිටි උඩු මහල් කාමරයේ බොහෝ පහන් දල්වා තිබිණි.</verse>
				<verse number="9">යුතිකස් නම් තරුණයෙක් ජනෙල් පඩිය මත හිඳ, නිදි කිරමින් සිටියේ ය. පාවුල් දිගටම කතා කරගෙන යද්දී, තද නින්දට පත් හෙතෙම තෙවන මහලේ සිට ඇද වැටිණි. ඔහු එසවූ කල මැරී සිටියේ ය.</verse>
				<verse number="10">පාවුල් පහළට අවුත්, තරුණයා මත දිගා වී ඔහු වැලඳ, “බිය නො වන්න; ඔහුට පණ ඇතැ” යි කීවේ ය.</verse>
				<verse number="11">ඉන්පසු නැවතත් උඩු මහලට ගිය ඔහු රොටි කඩා අනුභව කළේ ය. පාවුල් පිටත්ව ගියේ, පසු දිනට පහන් වන තෙක්ම ඔවුන් හා කතා කළ පසුව ය.</verse>
				<verse number="12">ඔවුන්, ජීවය ලද තරුණයා කැටිව ආපසු ගියේ මහත් අස්වැසිල්ලකිනි.</verse>
				<verse number="13">කලින් නැව් නැගුණු අප අසොස් දක්වා යාත්‍රා කළේ, එහිදී පාවුල් නැවට නංවා ගැනීමට ය; මන්ද පා ගමනින් එහි ගිය පාවුල් එසේ කිරීමට සැලසුම් කර තිබිණි.</verse>
				<verse number="14">අසොස්හිදී ඔහු හමුව නැවට ඔහු නංවා ගත් අපි, මිතුලේනට ගියෙමු.</verse>
				<verse number="15">පසු දා එතැන් සිට යාත්‍රා කර, කියොස් ඉදිරි පිටට පැමිණියෙමු; පසු දින සාමෝස් වෙත ළඟා වී, ඊට පසු දින මිලේතස වෙත පැමිණියෙමු.</verse>
				<verse number="16">ආසියා කලාපයේ කල් ගත කිරීමෙන් වැළකී, එපීසය පසුකර යාත්‍රා කිරීමට පාවුල් තීරණ කළේ, හැකි වෙතොත් පෙන්තකොස්ත දවසට කලින් යෙරුසලමට ළඟා වීමට ඔහු ඉක්මන් කළ බැවිනි.</verse>
				<verse number="17">ඔහු මිලේතස සිට එපීස සභා-මූලිකයින් කැඳවා පණිවුඩ යැවී ය.</verse>
				<verse number="18">ඔවුන් ආ කල්හි ඔහු ඔවුන්ට මෙසේ පැවසී ය. “මා ආසියා කලාපයට පැමිණි පළමු දවසේ පටන් ඔබ සමඟ ඒ මුළු කාලයම ගත කළේ කෙසේ ද කියා ඔබ දනී.</verse>
				<verse number="19">යුදෙව්වන්ගේ කුමන්ත්‍රණවලින් දැඩි සේ මා පරීක්ෂා කළ ද, සියලු ආකාර යටහත්කමින් හා කඳුළින් යුතුවයි මා ස්වාමින්වහන්සේට සේවය කළේ.</verse>
				<verse number="20">ඔබට ප්‍රයෝජනවත් විය හැකි කවර දෙයක් වුව ප්‍රකාශ කිරීමට මා පසුබට නො වූ බවත් ඔබ දන්නවා; ප්‍රසිද්ධියේ මෙන්ම ගෙන් ගෙට ගොස් මා ඔබට ඉගැන්නුවා.</verse>
				<verse number="21">යුදෙව් හා ග්‍රීක යන දෙගොල්ලටම පසුතැවිලි වී, දෙවියන්වහන්සේ වෙත හැරෙන ලෙස හා අපගේ ස්වාමි වූ යේසුස්වහන්සේ අදහා ගන්නා ලෙස මා තදින් අනුශාසනා කළා.</verse>
				<verse number="22">“මෙන්න දැන්, ආත්මයාණන්වහන්සේගේ බලපෑමෙන් යුතුව යෙරුසලමට මා යන්නේ, එහිදී මට කුමකින් කුමක් වේදැයි නො දැනයි.</verse>
				<verse number="23">මා එකක් දන්නවා; නගරයක් නගරයක් පාසා ශුද්ධාත්මයාණන් මට ප්‍රකාශ කරන්නේ, සිරගතවීම් හා හිරිහැරවලට මා මුහුණ ලා සිටින වගයි.</verse>
				<verse number="24">කෙසේ වෙතත් මා දුවන මේ තරඟ දිවුම නිම කිරීමත්, යේසුස් ස්වාමින්වහන්සේ මට දුන් කාර්ය භාරය වන දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ ශුභාරංචිය ගැන සාක්ෂි දැරීම සම්පූර්ණ කිරීමත් මිස, මගේ ජීවිතය මට වටනේයයි මම නො සිතමි.</verse>
				<verse number="25">“රාජ්‍යය ප්‍රකාශ කරමින් මා ගියවුන් අතර සිටින ඔබ කිසිවකුට මින් මතු මගේ මුහුණ දකින්නට නො ලැබෙන බව දැන් මම දනිමි.</verse>
				<verse number="26">එබැවින් අද දවසේ මා ඔබට ප්‍රකාශ කරන්නේ, සියල්ලන්ගේ ලේ ගැන මා නිදොස් වගයි.</verse>
				<verse number="27">මන්ද දෙවියන්වහන්සේගේ මුළු කැමැත්ත ඔබට ප්‍රකාශ කිරීමට මා පසුබට වූයේ නැත.</verse>
				<verse number="28">තමන් ගැනත් වගබලා ගනිමින්, ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ නායකයින් බවට පත් කරමින්, බාර දී ඇති බැටළු රැළ රැක-බලාගන්න. ස්වකීය ලෙයින් උන්වහන්සේ මිලයට ගත් දෙවියන්වහන්සේගේ සභාවේ එඬේරවරුන් වන්න.</verse>
				<verse number="29">මා ගිය පසු, රුදුරු වෘකයින් ඔබ අතරට පැමිණ, රැළ ඉතිරි නො කරන වග මම දනිමි.</verse>
				<verse number="30">ඔබ කණ්ඩායමේ ඇතමුන් ද නැගිට ගෝලයින් ඔවුන්ගේ පැත්තට නම්මා ගන්නට සත්‍යය විකෘති කරනු ඇත.</verse>
				<verse number="31">එබැවින් කල්පනාකාරීව සිටින්න. වසර තුනක් තිස්සේ දිවා රෑ දෙක්හි කඳුළින් යුතුව, මා ඔබ එකිනෙකාට නො නැවතී අවවාද කළ බව මතක තබාගන්න.</verse>
				<verse number="32">“දෙවියන්වහන්සේටත්, ඔබ ගොඩ නංවාලීමට හා පවිත්‍ර කරනු ලැබූ සියල්ලන් අතර උරුමයක් ඔබට දෙන්නට හැකි උන්වහන්සේගේ අනුග්‍රහයේ වචනයටත් දැන් මා ඔබ භාර කරනවා.</verse>
				<verse number="33">කාගේවත් රිදී හෝ රන් හෝ ඇඳුම්වලට හෝ මා ගිජු වූයේ නැහැ;</verse>
				<verse number="34">මගේ මේ අත් දෙක මගේ අවශ්‍යතා වගේම මගේ සගයින්ගේ අවශ්‍යතා ද සපිරූ වග ඔබ දන්නවා.</verse>
				<verse number="35">මෙලෙස වෙහෙසී වැඩ කර, අබල දුබල අයට අප උපකාර කළ යුතු බව මා කළ හැම දෙයක් තුළින්ම ඔබට පෙන්වා දුන්නේ යේසුස්වහන්සේගේම වචන සිහි ගන්වමින්; උන්වහන්සේ කීවේ, ‘ලැබීමට වඩා දීම ආශිර්වාදයකි’ කියායි.”</verse>
				<verse number="36">එසේ පැවසූ පාවුල් ඔවුන් සියලු දෙනා සමඟ දණින් හිඳ යාච්ඤා කළේ ය.</verse>
				<verse number="37">ඔහු ඔවුන්ගෙන් සමු ගනිද්දී, ඔවුහු සැවොම ඔහු වැලඳ සිප ගනිමින් කඳුළු සැලූහ.</verse>
				<verse number="38">ඔවුන් වඩාත්ම ශෝක වූයේ, යළි ඔවුන් ඔහුගේ මුහුණ දකින්නේ නැතැයි පාවුල් කී බැවිනි. ඉන්පසු ඔවුහු නැවට ඔහු ඇරලූහ.</verse>
			</chapter>
			<chapter number="21">
				<verse number="1">ඔවුන්ගෙන් සමුගත් පසු, නැව් නැඟුණ අපි කෙළින්ම කෝස් වෙත යාත්‍රා කළෙමු. පසු දා රෝදස් ද එතැනින් පතාරා වෙත ද ළඟා වීමු.</verse>
				<verse number="2">පිනීකිය වෙත යන නැවක් එහිදී හමු වූයෙන්, අපි එහි නැගී පිටත් වුණෙමු.</verse>
				<verse number="3">සයිප්‍රසය පෙනෙනා මානයට පැමිණි පසු, එය වම් පසින් තිබෙන සේ යාත්‍රා කරමින්, අපි සිරියා වෙත ළඟා වී, තීර් වරායෙන් ගොඩ බැස්සෙමු. එහිදී නැවෙහි බඩු ගොඩබෑමට නියමිතව තිබිණි.</verse>
				<verse number="4">එබැවින් අපි තීර්හි ගෝලයින් සොයා ගොස්, හත් දවසක් ඔවුන් හා ගත කළෙමු. ශුද්ධාත්මයාණන් විසින් දන්වනු ලැබ, යෙරුසලමට නො යන ලෙස ඔවුහු පාවුල්ට ඇවිටිලි කළහ.</verse>
				<verse number="5">එහෙත් අප යා යුතු කාලය පැමිණි විට අපි එතැනින් පිටත්ව, යළි ගමන් ඇරඹීමු. ගෝලයෝ සැවොම තම භාර්යාවන් හා දරුවන් කැටිව නගර සීමාවෙන් පිටතට එන තුරු අප හා ආහ. අපි වෙරළේ දණින් හිඳ, යාච්ඤා කර,</verse>
				<verse number="6">අපි එකිනෙකාගෙන් සමුගෙන, නැවට නැගුණෙමු. ඔවුහු ද නිවෙස් බලා ගියහ.</verse>
				<verse number="7">තීර්හි සිට යළි මුහුදු ගමනේ යෙදුණු අපි, තොලමයිසට ගොඩබැස, එහි සහෝදරයනට ආචාර කොට, ඔවුන් සමඟ දවසක් ගත කළෙමු.</verse>
				<verse number="8">පසු දා අපි එතැනින් පිටත්ව, කායිසාරියට ළඟා වී, හත්දෙනාගෙන් කෙනකු වූ ධර්ම දූත පිලිප්ගේ නිවසේ නවාතැන් ගතිමු.</verse>
				<verse number="9">දිවැස් වැකි පවසන අවිවාහක දූවරු හතර දෙනෙක් ඔහුට වුන්හ.</verse>
				<verse number="10">අප එහි කිහිප දවසක් ගත කළ පසු, දිවැසිවරයෙක් වූ අගබස් යුදයේ සිට එහි අවුත්,</verse>
				<verse number="11">අප වෙත පැමිණ, පාවුල්ගේ ඉඟ පටිය ගෙන, ඉන් තම අත් හා පා බැඳ, “යෙරුසලමේ යුදෙව්වන් මේ ඉඟ පටිය හිමි තැනැත්තා මේ අයුරින්ම බැඳ, විජාතීන් අතට පාවා දෙනු ලබන බව ශුද්ධාත්මයාණන්වහන්සේ පවසන සේකැ” යි කීවේ ය.</verse>
				<verse number="12">ඒ ඇසූ අපත්, එහි සිටි සෙසු අයත් පාවුල්ට කන්නලව් කළේ යෙරුසලමට නො යන ලෙසට ය.</verse>
				<verse number="13">පාවුල් පිළිතුරු දෙමින්, “හඬා දොඩා මගේ හද කඩන්නේ ඇයි? බඳිනු ලබන්නට පමණක් නො ව යේසුස් ස්වාමින්වහන්සේගේ නාමය උදෙසා යෙරුසලමේදී මැරෙන්නට වුවත් මම සූදානම්” යැයි කීවේ ය.</verse>
				<verse number="14">කෙසේවත් ඔහු කැමති කරවා ගත නො හැකි වූයෙන්, අදහස අතැර දැමූ අපි, “ස්වාමින්වහන්සේ කැමති ලෙස සිදු වේවා!” යි කීවෙමු.</verse>
				<verse number="15">ඉන්පසු අපි ගමනට සූදානම් වී, යෙරුසලම බලා ගමන් ගතිමු.</verse>
				<verse number="16">කායිසාරියේ ගෝලයින් කීප දෙනෙක් අප සමඟ අවුත්, අප නවාතැන් ගත යුතුව තිබූ මිනාසොන්ගේ නිවෙස වෙත අප කැඳවාගෙන ගියහ. සයිප්‍රස් ජාතිකයකු වූ ඔහු මුල් ගෝලයන්ගෙන් කෙනෙකි.</verse>
				<verse number="17">අප යෙරුසලම වෙත පැමිණි කල, සහෝදරයින් අප පිළිගත්තේ මහත් උණුසුම් අයුරිනි.</verse>
				<verse number="18">ඉන්පසු දා පාවුල් සමඟ අපි යාකොබ් දැකීමට ගියෙමු. සියලු සභා-මූලිකයෝ ද එහි වූහ.</verse>
				<verse number="19">පාවුල් ඔවුන්ට ආචාර කර ඔවුන් අමතමින්, තම සේවය මඟින් දෙවියන්වහන්සේ අන්‍ය-ජාතීන් අතරේ කරන ලද දෑ විස්තර සහිතව දැන්වී ය.</verse>
				<verse number="20">ඔවුහු ඒ අසා, දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ. ඉන්පසු පාවුල් ඇමතූ ඔවුහු, “සහෝදරය, කොපමණ දහස් ගණනක් යුදෙව් ජාතිකයින් අදහාගෙන ඇත්දැයි ඔබට පෙනේ. ඔවුන් සැවොම දහම් නීති උද්යෝගයෙන් සිටින අයයි.</verse>
				<verse number="21">ඔවුන්ට දැනගැනීමට ලැබී ඇත්තේ, අන්‍ය-ජාතීන් අතර වෙසෙන සියලු යුදෙව්වන්ට ඔවුන්ගේ දරුවන් චර්මඡේද කළ යුතු නැතැයි ද අපේ චාරිත්‍ර පිළිපැදිය යුතු නැතැයි ද කියමින් මෝස‍ෙස්ගේ නීතියෙන් ඉවත හැරෙන ලෙස ඔබ ඔවුන්ට උගන්වන බවයි.</verse>
				<verse number="22">ඉතින් අප මොකද කරන්නේ? ඔබ මෙහි ඇවිත් සිටින වග නිසැකයෙන්ම ඔවුන් දැන ගනීවි.</verse>
				<verse number="23">එනිසා අප කියන දේ කරන්න; බාරයක් වූ මිනිස්සු හතර දෙනෙක් අප සමඟ ඉන්නවා.</verse>
				<verse number="24">මොවුන් කැටිව ගොස්, ඔවුන්ගේ පවිත්‍ර වීමේ පිළිවෙතට සම්බන්ධ වී, එහි වියදම් ඔබම දරන්න. එවිට හිස මුඩු කර ගන්නට ඔවුන්ට හැකියි. ඔබ ගැන වූ ආරංචිවල සත්‍යයක් නැති බවත්, ඔබ දහම් නීති සංග්‍රහයට යටත්ව ජීවත් වන බවත් සැවොම දැන ගනීවි.</verse>
				<verse number="25">අන්‍ය-ජාතික ඇදහිලිවතුන් සම්බන්ධයෙන් නම්, පිළිමවලට පිදූ ආහාරවලින් ද ලෙයින් ද ගෙල මිරිකා මැරූ සතුන්ගේ මසින් ද ලිංගික අනාචාරයෙන් ද ඔවුන් වැළකී සිටිය යුතු බවට අප කළ තීරණය, අප ඔවුන්ට ලියා යවා ඇතැ” යි කීහ.</verse>
				<verse number="26">පසු දින පාවුල් ඒ මිනිසුන් කැටිව ගොස්, ඔවුන් සමඟ තමා ද පවිත්‍ර කරගත්තේ ය. ඉන්පසු පවිත්‍ර වීම සම්පූර්ණ වන දිනයත්, ඔවුන් එකිනෙකා ඔප්පු කළ යුතු පුද පූජාත් ගැන දැනුම් දෙන පිණිස, ඔහු දේව මාලිගයට ගියේ ය.</verse>
				<verse number="27">හත් දවස සම්පූර්ණ වෙමින් තිබියදී, ආසියා කලාපයෙන් පැමිණි යුදෙව්වන්ගෙන් ඇතමෙක් පාවුල් දේව මාලිගයේ සිටිනු දුටුවහ. එකල ඔවුහු මුළු ජන සමූහයා කලඹවාගෙන අවුත්, ඔහු අල්ලාගෙන,</verse>
				<verse number="28">කෑ කෝ ගසමින්, “ඉශ්‍රායෙල් ජනයිනි, අපට උදවු කරපල්ලා! අප ජනයාටත්, දහම් නීතියටත්, මේ ස්ථානයටත් විරුද්ධව හැම තැනකම හැම දෙනාට උගන්වන මිනිහා මොහුයි. එපමණක් නො වෙයි. ග්‍රීක ජාතිකයන් ද මේ දේව මාලිගයට කැඳවාගෙන අවුත් මේ සිද්ධස්ථානයත් දූෂ්‍ය කර ඇතැ” යි කීහ.</verse>
				<verse number="29">(එසේ කීවේ එපීසයකු වූ ත්‍රොපිමස් පාවුල් සමඟ නගරයේ සිටිනු ඔවුන් දුටු නිසා, පාවුල් දේව මාලිගයට ඔහු කැඳවා ගෙනෙන්නට ඇතැයි සිතූ බැවිනි.)</verse>
				<verse number="30">මෙයින් මුළු නගරයම ඇවිස්සිණි. සැමතින්ම දුව ආ ජනයා, පාවුල් අල්ලා, දේව මාලිගයෙන් පිටතට ඔහු ඇද දැමූහ. දොරටු ද එකෙණෙහිම වසනු ලැබී ය.</verse>
				<verse number="31">පාවුල් මරා දමන්නට ඔවුන් අර අදිද්දී, මුළු යෙරුසලම් නගරයම කැලඹී ඇතැයි නගරයේ රෝම සෙන්පතිට සැල විණි.</verse>
				<verse number="32">නිලධාරීන් ද භට පිරිසක් ද ගෙන, ඔහු ජන සමූහයා වෙත වහා දිව්වේ ය. සෙන්පති හා ඔහුගේ භට පිරිස දුටු කලබලකරුවෝ පාවුල්ට පහර දීම නැවතූහ.</verse>
				<verse number="33">පාවුල් වෙත ආ සෙන්පති පළමු කොට ඔහු අත්අඩංගුවට ගෙන, යදම් දෙකකින්ම ඔහු බඳින්නට අණ දුන්නේ ය. පාවුල් කවරෙක් ද, ඔහු කළ වරද කිමෙක්දැයි ඔහු ඇසුවේ ඉන්පසුව ය.</verse>
				<verse number="34">පිරිසෙන් ඇතමෙක් එකක් ද අන් සමහරෙක් තවෙකක් ද කියමින් කෑ කෝ ගැසූහ. ඝෝෂාව නිසා සත්‍යය කුමක්දැයි දැනගන්නට සෙන්පතිට නො හැකි වූයෙන්, පාවුල් හමුදා කඳවුර වෙත ගෙන යන ලෙස ඔහු නියෝග කළේ ය.</verse>
				<verse number="35">පාවුල් එහි වූ පඩි පෙළට ළං වූ කල, කලහකාරී පිරිස කෙතරම් සැහැසි වූවෝ ද යත් පාවුල් ඔසවාගෙන යෑමට හමුදා භටයින්ට සිදු විණි.</verse>
				<verse number="36">සෙනඟ ද ඒ පසු පස්සේම යමින්, “ඔහු නැති කර දමව්” කියමින් කෑ ගසන්නට වන්හ.</verse>
				<verse number="37">හේවායින් කඳවුර තුළට තමා ගෙන යෑමට සැරසෙද්දී, සෙන්පති ඇමතූ පාවුල්, “ඔබට වචනයක් කියන්න අවසර දැ?” යි ඇසී ය. එවිට සෙන්පති, “හෝ! ඔබ ග්‍රීක් බස දන්නවා ද?</verse>
				<verse number="38">කලකට පෙර කැරැල්ලක් සංවිධාන කර මිනීමරුවන් හාරදහසක් ගෙන වන වැදුණු ඊජිප්තුවා ඔබ නො වේ දැ?” යි ඇසී ය.</verse>
				<verse number="39">පාවුල් පිළිතුරු දෙමින්, “මා යුදෙව්වෙක්, සිලිසියාවේ කීර්තිමත් නගරයක් වන තාර්සස්හි පුරවැසියෙක්. ජනතාව අමතන්නට මට ඉඩ දෙන්නැ” යි කීවේ ය.</verse>
				<verse number="40">සෙන්පති තැන ඊට අවසර දුන් කල, පඩි පෙළ මත සිටගත් පාවුල් නිසල වන ලෙස ජනයාට සංඥා කළේ ය. ඔවුන් සැම නිසල වූ කල පාවුල් හෙබ්‍රෙව් බසින් ඔවුන් අමතන්නට වන්නේ ය.</verse>
			</chapter>
			<chapter number="22">
				<verse number="1">“සහෝදරයිනි, පියවරුනි, මා නිදහසට කියන කරුණුවලට සවන් දෙන්න.”</verse>
				<verse number="2">ඔහු හෙබ්‍රෙව් බසින් කතා කරනු ඇසූ ඔවුහු නිශ්ශබ්ද වූහ. පාවුල් කතා කරන්නට වන්නේ ය:</verse>
				<verse number="3">“මා යුදෙව්වෙක්; සිලිසියාහි තාර්සස්වල උපන් නමුදු මා හැදුනේ, වැඩුනේ මේ නගරයේ. අපේ පියවරුන්ගේ දහම් නීතිය, ගමාලියෙල් ගුරුන් යටතේ මනාව පුහුණුව ලැබ, මා සිටියේ අද දවසේ ඔබ හැම වගේ දෙවියන්වහන්සේ කෙරේ දැල්වුණු උද්යෝගයකින්.</verse>
				<verse number="4">මෙම ධර්ම-මාර්ගය අනුව ගිය ස්ත්‍රී, පුරුෂ දෙගොල්ලම අත්අඩංගුවට ගනිමින්, ඔවුන් සිර ගෙවල දමමින්, ඔවුන් මැරෙන තුරු මා ඔවුන්ට හිංසා-පීඩා කළා.</verse>
				<verse number="5">උත්තම පූජකයාත්, මන්ත්‍රණ සභික සැවොමත් ඊට සාක්ෂියි. දමස්කයේ සිටින ඔවුන්ගේ සහෝදරයින් වෙත ඔවුන්ගෙන් ලිපි ඉල්ලා ගෙන, මා එහි ගියේ ඒ මිනිසුන් සිරබාරයට ගෙන, දඬුවම් කරන පිණිස ඔවුන් යෙරුසලම වෙත ගෙන එන්නටයි.</verse>
				<verse number="6">“මද්දහන පමණ වන විට මා දමස්කය වෙත ආසන්න වෙත්ම, එක්වරම අහසින් විහිදුණු ආලෝක ධාරාවක් මා වටා බැබළුණු.</verse>
				<verse number="7">මා බිම ඇද වැටුණා; එවිට, ‘සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්දැ?’ යි පවසන කටහඬක් මට ඇසුණා.</verse>
				<verse number="8">“ ‘ස්වාමිනි, ඔබතුමා කවුරු දැ?’ යි මා ඇසුවා. “උන්වහන්සේ පිළිතුරු දෙමින්, ‘ඔබ විසින් වධ හිංසා කරන නාසරෙත්හි යේසුස් මමයි’ කීවා.</verse>
				<verse number="9">මා සමඟ ගිය මගේ සහායකයින් ඒ ආලෝකය දැක්ක නමුත්, මට කතා කළ කෙනාගේ කටහඬ හැඳින්නේ නෑ.</verse>
				<verse number="10">“ ‘ස්වාමිනි, මා කුමක් කළ යුතු දැ?’ යි මා ඇසුවා. “ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, ‘දැන් නැගිට, දමස්කය වෙත යන්න; ඔබ විසින් කළ යුතු හැම දේ එහිදී ඔබට දන්වනු ඇතැ’ යි කීවා.</verse>
				<verse number="11">මගේ සහායකයින් මගේ අතින් අල්ලාගෙන, දමස්කය වෙත මා ගෙන ගියා. මන්ද, ඒ ආලෝකයේ කාන්තියෙන් මගේ ඇස් අන්ධ වුණා.</verse>
				<verse number="12">“එහිදී අනනියස් නම් කෙනෙක් මා දකින්නට ආවා. දහම් නියෝග බැතිමත්ව පිළිපදින්නකු වූ ඔහු, එහි වෙසෙන යුදෙව්වන්ගේ මහත් ගෞරවයට පාත්‍ර වූවෙක්.</verse>
				<verse number="13">ඔහු මා පසෙකින් සිට, ‘සහෝදර සාවුල්, ඔබේ පෙනීම ලබන්නැ’ යි කීවා. ඒ මොහොතේම මට ඔහු දකින්නට හැකි වුණා.</verse>
				<verse number="14">“එවිට ඔහු, ‘අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ, උන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමටත්, ධාර්මික තැනැත්තාණන් දැක ගැනීමටත්, උන්වහන්සේගේ මුවින් පවසන වචන ඇසීමටත් ඔබ තෝරා ගෙන තියෙනවා;</verse>
				<verse number="15">ඔබ ඇසූ දුටු දේ ගැන සියලු මිනිසුන් ඉදිරියේ ඔබ උන්වහන්සේගේ සාක්ෂිකරුවකු වනු ඇති.</verse>
				<verse number="16">තවත් පමා වන්නේ කුමට ද? නැගිටින්න; උන්වහන්සේගේ නාමයෙන් යාච්ඤා කරමින්, බව්තීස්ම ලබා, ඔබගේ පාප සෝදා හරින්නැ’ යි මට කීවා.</verse>
				<verse number="17">“මා යෙරුසලමට ආපසු ඇවිත්, දේව මාලිගයේ යාච්ඤා කරමින් සිටියා. එසේ සිටියදී මා දැහැනකට වැටී,</verse>
				<verse number="18">ස්වාමින්වහන්සේ මා අමතනු දුටුවා; උන්වහන්සේ, ‘ඉක්මන් කරන්න! හනික යෙරුසලමෙන් පිටවන්න; මන්ද මා ගැන ඔබ කී සාක්ෂිය ඔවුන් පිළිගන්නේ නැතැ’ යි කීවා.</verse>
				<verse number="19">“මා ඊට පිළිතුරු දෙමින්, ‘ස්වාමින්වහන්ස, ඔබවහන්සේ අදහාගත්තවුන් සිරබාරයට ගනිමින්, ඔවුන්ට තළා පෙළමින්, සිනගෝගයෙන් සිනගෝගයට මා ගිය අයුරු මේ මිනිසුන් හොඳින්ම දන්නවා.</verse>
				<verse number="20">ඔබ උදෙසා දිවි දුන් ස්තේපන්ගේ ලේ හලනු ලබද්දී, ඔහු මැරූවන්ගේ උතුරු සළු බලා ගනිමින්, මමත් එතැනම සිට ඒ ක්‍රියාව අනුමත කළා’ යි මා කීවා.</verse>
				<verse number="21">“එවිට ස්වාමින්වහන්සේ, ‘යන්න; මම අන්‍ය-ජාතීන් වෙත දුර බැහැරට ඔබ යවන්නෙමි’ යි කී සේකැ” යි පැවසී ය.</verse>
				<verse number="22">පාවුල් එසේ කියන තෙක් සමූහයා ඔහු කී දේ අසා සිටියහ. එවිට ඔවුහු උස් හඬින් කෑ ගසමින්, “මොහු පොළොවෙන් සිඳ දමව්! ඔහු ජීවත් වෙන්නට සුදුසු නැතැ” යි ඝෝෂා කරන්නට වන්හ.</verse>
				<verse number="23">ඔවුහු කෑ ගසන්නට හා කබා ඉහළ වීසි කරමින්, ධූලි දමා ගසන්නට වන් කල,</verse>
				<verse number="24">කඳවුර තුළට පාවුල් ගෙන යන ලෙස නියෝග කළ සෙන්පති, ඔහුට එරෙහිව ජනයා මෙලෙස කෑ කෝ ගැසීමේ හේතු කවරේදැයි දැනගැනීමට ඔහුට කස පහර දී, ප්‍රශ්න කරන්නට උපදෙස් දුන්නේ ය.</verse>
				<verse number="25">කස පහර දෙන්නට ඔවුන් ඔහු බැඳ දැමූ කල, එතැන සිටි සියයේ සෙන්පති ඇමතූ පාවුල්, “විභාගයක් නො පවත්වා රෝම පුරවැසියකුට කස පහර දීම නිත්‍යානුකූල දැ?” යි ඇසී ය.</verse>
				<verse number="26">ඒ ඇසූ එම නිලධාරියා සෙන්පති වෙත ගොස්, ඒ වග දැනුම් දෙමින්, “මොකක් ද ඔබ මේ කරන්නට යන්නේ? ඒ මනුෂ්‍යයා රෝම පුරවැසියෙකැ” යි කීවේ ය.</verse>
				<verse number="27">එවිට සෙන්පති පාවුල් වෙත අවුත්, “මට කියන්න; ඔබ රෝම පුරවැසියෙක් දැ?” යි ඇසී ය. “එසේ යැ” යි පාවුල් පිළිතුරු දිණි.</verse>
				<verse number="28">එවිට සෙන්පති, “රෝම පුරවැසිකම ලබා ගන්නට විශාල මුදලක් වැය කරන්නට මට සිදු වුණා” යි කීවේ ය. “මා උපතින්ම පුරවැසියෙක්” යැයි පාවුල් කීවේ ය.</verse>
				<verse number="29">පාවුල්ගෙන් ප්‍රශ්න කරන්නට සිටි අය පසුබැස, වහා ඉවත්ව ගියහ. රෝම පුරවැසියකු වූ පාවුල් යදමින් බැඳීම ගැන සිහි කළ සෙන්පති ද තැති ගත්තේ ය.</verse>
				<verse number="30">යුදෙව්වන් පාවුල්ට චෝදනා කළේ කවර හෙයින්දැයි නිසැකව ම දැනගන්නට පසු දා සෙන්පතිට වුවමනා වූයෙන්, පාවුල්ගේ බැඳුම් මුදා හළ හෙතෙම, නායක පූජකයින් හා මන්ත්‍රණ සභික සියල්ලන් රැස් කරවා, පාවුල් කැඳවා ඔවුන් ඉදිරියේ ඔහුට සිටගන්නට සැලැස්වී ය.</verse>
			</chapter>
			<chapter number="23">
				<verse number="1">මන්ත්‍රණ සභාව වෙත තියුණු බැල්මක් හෙළූ පාවුල්, “සහෝදරවරුනි, මේ අද දවස දක්වා දෙවියන්වහන්සේට මුළුමනින්ම නිදොස් හෘද සාක්ෂියකින් මම දිවි ගෙව්වෙමි” යි පැවසී ය.</verse>
				<verse number="2">එවිට උත්තම පූජක අනනියස්, පාවුල්ගේ කටට ගසන ලෙස ඔහු ළඟ සිටියවුනට අණ කළේ ය.</verse>
				<verse number="3">එකල ඔහු ඇමතූ පාවුල්, “සුදු හුණු ගෑ බිත්තියක් වැනි ඔබට දෙවියන්වහන්සේ පහර දෙනු ඇත. දහම් නීතිය අනුව මා විනිශ්චය කරන්නට හිඳ, නුඹම ඒ දහම් නීතියම කඩ කරමින්, මට ගසන්නට අණ දෙනවා දැ?” යි ඇසී ය.</verse>
				<verse number="4">“දෙවියන්වහන්සේගේ උත්තම පූජකයාට අපහාස කරන්නෙහි දැ?” යි පාවුල් අසල සිටි අය ප්‍රශ්න කළහ.</verse>
				<verse number="5">පාවුල් පිළිතුරු දෙමින්, “සහෝදරයිනි, ඔහු උත්තම පූජකයා බව මා දැන සිටියේ නැහැ. මන්ද ‘ඔබේ ජනයාගේ පාලකයා ගැන අගුණ නො කියන්නැ’ කියා ලියා ඇතැ” යි පැවසී ය.</verse>
				<verse number="6">මන්ත්‍රණ සභාවේ කොටසක් සද්දුසිවරුනුත්, අනෙක් කොටස පරිසිවරුනුත් බව දුටු පාවුල්, “සහෝදරවරුනි, මම පරිසියෙක්මි; පරිසිවරයකුගේම පුත්‍රයෙක්මි. ඔබ ඉදිරියේ මා මෙසේ විනිශ්චයට ලක්ව ඇත්තේ මළවුන්ගෙන් නැගිටීමේ මගේ බලාපොරොත්තුව නිසා” යි උස් හඬින් පැවසී ය.</verse>
				<verse number="7">ඔහු එසේ කී හේතුවෙන් පරිසිවරුන් හා සද්දුසිවරුන් අතරේ මත-භේදයක් පැන නැඟිණි; සභාව දෙපිලකට බෙදිණි.</verse>
				<verse number="8">(සද්දුසිවරුන් කියන්නේ මරණයෙන් නැවත නැගිටීමක් නැත; දේව දූතයින් ද නැත; ආත්මයක් ද නැත කියා ය; එහෙත් පරිසිවරු ඒ සියල්ලම ඇතැයි කියති.)</verse>
				<verse number="9">ඔවුන්ගේ කලහකාරී ඝෝෂාව වඩ වඩා උත්සන්න වෙද්දී, පරිසීන්ගේ පිලට අයත් දහම් පඬිවරු ඇතැම් දෙනෙක් සභාව මැද නැගිට, තරයේ තර්ක කරමින්, “අපට මේ මිනිසා අත කිසි වරදක් නො පෙනේ. යම් ආත්මයක් හෝ දේව දූතයෙක් හෝ ඔහුට කතා කළා නම් මොකදැ?” යි ඇසූහ.</verse>
				<verse number="10">දෙපිලේ විවාදය කෙතරම් සැහැසි වී ද යත්, ඔවුහු පාවුල් කීතු කීතුවලට ඉරා දමතියි සෙන්පතියා බය විය. එබැවින් ඔහු ඔවුන් අතරට ගොස්, බලයෙන්ම ඔවුන් වෙතින් පාවුල් ඉවත් කරගෙන, කඳවුරට ගෙන යන ලෙස හේවායිනට අණ දුන්නේ ය.</verse>
				<verse number="11">එදින රාත්‍රියේ ස්වාමින්වහන්සේ පාවුල් අසලින් සිට, ඔහු අමතමින්, “ධෛර්යය වඩවා ගන්න; යෙරුසලමේදී ඔබ මා ගැන සාක්ෂි දැරූ ලෙසම රෝමයේදීත් සාක්ෂි දැරිය යුතු යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="12">යුදෙව්වෝ පසු දින උදෑසන එක්ව කුමන්ත්‍රණ කරමින්, පාවුල් මරා දමන තුරු කන්නේවත්, බොන්නේවත් නැතැයි ස්වයං දිවුරුමකින් බැඳුණහ.</verse>
				<verse number="13">මෙසේ කුමන්ත්‍රණ කළෝ හතළිස් දෙනකුටත් වැඩි ය.</verse>
				<verse number="14">ඔවුහු නායක පූජකයින් හා වැඩිහිටියන් වෙත ගොස්, ඔවුනට කරුණු සැල කරමින්, “පාවුල් මරා දමන තුරු කිසිවක් කන්නේවත්, බොන්නේවත් නැතිව, උපවාස කිරීමට අපි දැඩි ගිවිසුමකට බැඳුණා;</verse>
				<verse number="15">එබැවින් පාවුල් ගැන වඩා නිවැරදි විභාගයක් පවත්වන්නට ඕනෑ වග අඟවා, මන්ත්‍රණ සභාව වෙත යළි ඔහු ගෙන එන ලෙස ඉල්ලා, මන්ත්‍රණ සභිකයිනුත්, ඔබත් සෙන්පති වෙත ආයාචනයක් කරන්න. ඔහු මෙතැනට එන්නට පළමු අපි ඔහු මරා දමන්නට සූදානම්” යැයි කීහ.</verse>
				<verse number="16">එහෙත් පාවුල්ගේ සහෝදරියගේ පුත්‍රයාට මෙම කුමන්ත්‍රණය ගැන අසන්නට ලැබුණෙන්, ඔහු කඳවුරට ගොස්, පාවුල්ට ඒ වග දැනුම් දුන්නේ ය.</verse>
				<verse number="17">එවිට සියයක හේවාපන්න නිලධාරියකු ඇමතූ පාවුල්, “මේ තරුණයා සෙන්පති වෙත ගෙන යන්න. ඔහුට දැන්විය යුතු කරුණක් මොහු වෙත ඇතැ” යි කීවේ ය.</verse>
				<verse number="18">එබැවින් ඔහු තරුණයා සෙන්පති වෙත ගෙන ගියේ ය. සියයේ හේවාපන්න නිලධාරියා, “ඔබට දැන්විය යුතු යමක් මේ තරුණයාට ඇති නිසා, ඔහු ඔබට මුණ ගස්වන්නැයි සිරකාර පාවුල් මට අඬගසා, මගෙන් ඉල්ලීයැ” යි පැවසී ය.</verse>
				<verse number="19">සෙන්පති තැන තරුණයා අතින් ගෙන පසෙකට කැඳවා, “මොනවද මට කියන්නට ඔබට තියෙන්නේ?” යි ඇසී ය.</verse>
				<verse number="20">ඔහු පිළිතුරු දෙමින්, “පාවුල් ගැන තොරතුරු වඩා නිවැරදිව විභාග කරන බවක් අඟවා, හෙට උදෑසන ඔහු මන්ත්‍රණ සභාව ඉදිරියට ගෙනෙන ලෙස, ඔබෙන් ඉල්ලන්නට යුදෙව්වන් එකඟතාවක් ඇති කර ගත්තා.</verse>
				<verse number="21">ඒකට ඉඩ දෙන්න එපා. මන්ද හතළිස් දෙනකුට වැඩි යුදෙව් පිරිසක් මඟදී ඔහුට පහර දීමට සැඟවී රැක ඉන්නවා; ඔහු මරා දමන තුරු කන්නේවත්, බොන්නේවත් නැතැයි ඔවුන් දිවුරා තියෙනවා; ඔවුන්ගේ ඉල්ලීමට ඔබතුමාගේ අනුමැතිය ලැබෙන තුරු ඔවුහු දැන් සියල්ල සූදානමින් බලා ඉන්නවා” යි කීවේ ය.</verse>
				<verse number="22">“මෙය ඔබ මට දැන්වූ වග කිසිවකුට කියන්න එපා” යි තරුණයාට අවවාද කළ සෙන්පති, ඔහු යන්නට හැරියේ ය.</verse>
				<verse number="23">ඉන්පසු සියයේ හේවාපන්න නිලධාරීන් දෙදෙනකු කැඳවූ සෙන්පති, “අද රෑ තුන් වන පැයට කායිසාරියට යන පිණිස හේවායින් දෙසියයක්, අසරුවන් හැත්තෑවක් හා හෙල්ලකරුවන් දෙසීයක් ඇතුළත් සේනාංකයක් සූදානම් කරන්න.</verse>
				<verse number="24">පීලික්ස් ආණ්ඩුකාරයා වෙත ආරක්ෂා සහිතව පාවුල් ගෙන යන පිණිස, ඔහුට නැගී යන්නට අශ්වයින් ද සපයා දෙන්නැ” යි නියෝග කළේ ය.</verse>
				<verse number="25">ඔහු මෙලෙස ලිපියක් ලියුවේ ය:</verse>
				<verse number="26">ක්ලෝදියස් ලිසියස්ගෙන්, අතිගරු පීලික්ස් ආණ්ඩුකාර තුමන් වෙත, සෙත් වේවා!</verse>
				<verse number="27">යුදෙව්වෝ මේ මිනිසා අල්ලා, මරා දමන්නට සැරසුණහ. එවෙලේම මගේ හේවායින් සමඟ ගොස් ඔහු මුදා ගතිමි. මන්ද ඔහු රෝම පුරවැසියකු වග මම දැන සිටියෙමි.</verse>
				<verse number="28">ඔහුට එරෙහිව ඔවුන් නගන චෝදනා කවරේදැයි දැනගැනීමට මට වුවමනා වූ බැවින්, මම ඔවුන්ගේ මන්ත්‍රණ සභාව ඉදිරියට මොහු පැමිණෙවුවෙමි.</verse>
				<verse number="29">යුදෙව් දහම් නීති ගැන ඔවුන් යම් යම් චෝදනා නැගුවා විනා, මරණයට පත් කිරීමට හෝ සිරගත කිරීමට හෝ හේතු වන කිසි වරදක් ඔහුට විරුද්ධව නැති වග මට පෙනී ගියා.</verse>
				<verse number="30">පසුව මේ මිනිසාට විරුද්ධව කුමන්ත්‍රණයක් ඇති වග දැනගන්නට ලැබුණු විගස මා වහා ඔබ වෙත ඔහු එවන්නට සැලසුවෙමි. තවද ඔහුට එරෙහිව ඇති චෝදනා ඔබට ඉදිරිපත් කරන ලෙස පැමිණිලිකරුවනට ද මම නියෝග කළෙමියි ඔහු ලියුවේ ය.</verse>
				<verse number="31">හේවායෝ තමන් ලද නියෝගයට අනුව ක්‍රියා කරමින්, ඒ රාත්‍රියේ අන්තිපත්‍රිස් නගරය දක්වා තමන් සමඟ පාවුල් ගෙන ගියහ.</verse>
				<verse number="32">පසු දා එතැන් සිට අසරුවන් සමඟ පාවුල් පිටත් කළ ඔවුහු කඳවුරට හැරී ගියහ.</verse>
				<verse number="33">කායිසාරිය වෙත සේන්දු වූ අසරු හමුදාව තමන් ගෙන ආ ලිපිය ආණ්ඩුකාරයාට පිළිගන්වා, පාවුල් ද ඔහුට භාර දුන්හ.</verse>
				<verse number="34">ලිපිය කියවූ ආණ්ඩුකාරයා, පාවුල් කවර ප්‍රාන්තයකට අයත්දැයි විමසී ය. ඔහු සිලිසියාවේ වැසියකු බව දැනගත් හෙතෙම,</verse>
				<verse number="35">පාවුල් අමතමින්, “පැමිණිලිකරුවන් පැමිණි පසු ඔබේ නඩුව අසන්නම්” යි කීවේ ය. හෙරෝද්ගේ මාලිගාවේ ඔහු රඳවා තබන ලෙස ඔහු නියෝග කළේ ය.</verse>
			</chapter>
			<chapter number="24">
				<verse number="1">පස් දිනකට පසු, උත්තම පූජක අනනියස්, වැඩිහිටියන් කීප දෙනෙක් හා තෙර්තුලස් නම් නීතිඥයා කැටිව, කායිසාරියට පැමිණියේ ය. ඔවුහු පාවුල්ට එරෙහි චෝදනා ආණ්ඩුකාරයා වෙත ඉදිරිපත් කළහ.</verse>
				<verse number="2">පාවුල් ඇතුළට කැඳවනු ලැබූ කල, තෙර්තුලස් පැමිණිල්ල ඉදිරිපත් කරමින්: “ඔබතුමන් යටතේ අපට දීර්ඝ සාමකාමී කාලයක් භුක්ති විඳින්නට ලැබුණු බවත්, ඔබගේ දූරදර්ශීකමින් මේ ජාතියට ප්‍රතිසංස්කරණ රැසක් සිදු වූ බවත්,</verse>
				<verse number="3">අතිගරු පීලික්ස් තුමනි, හැම තැනකදී, හැම අයුරින් අපි මහත් කෘතඥතාවෙන් යුතුව පිළිගනිමු.</verse>
				<verse number="4">තවත් ඔබ වෙහෙස නො කරන පිණිස අප දැන් ලුහුඬින් කියන දේට කරුණාවෙන් සවන් දෙන මෙන් ඉල්ලමි.</verse>
				<verse number="5">“මේ මිනිසා ලොව පුරා යුදෙව්වන් කැරලිකාරකමට පොලඹවන අයෙක් බව අපි දැන ගතිමු. ඔහු නාසරීනු නිකායේ කල්ලි නායකයෙක්.</verse>
				<verse number="6">ඔහු අපේ දේව මාලිගාව පවා දූෂ්‍ය කරන්නට වෙර දැරුවා; එනිසා අපි ඔහු අල්ලා ගත්තා. අපගේ දහම් නීතියට අනුව ඔහු විනිශ්චය කරන්නට අපට වුවමනා වුවත්,</verse>
				<verse number="7">සෙන්පති ලිසියස් පැමිණ, මහත් බලහත්කාරයෙන් අපේ අත්වලින් ඔහු උදුරාගෙන,</verse>
				<verse number="8">ඔහුට වරද තබන පිණිස ඔබ වෙතට ඒමට අණ කළේ ය. අප ඔහුට විරුද්ධව නගන මේ සියලු චෝදනාවල සත්‍යතාව, ඔහු විභාග කිරීමෙන් ඔබටම දැනගත හැකි වනු ඇතැ” යි කීවේ ය.</verse>
				<verse number="9">යුදෙව්වෝ ද චෝදනා කරන්නට හවුල් වෙමින්, ඒවා සත්‍ය බව සහතික කළහ.</verse>
				<verse number="10">කතා කරන ලෙස ආණ්ඩුකාරයා සංඥා කළෙන්, පාවුල් පිළිතුරු දෙමින්, “ඔබතුමා වසර ගණනාවක් මේ ජාතියට විනිශ්චයකරුවකුව සිටින වග දනිමි; එබැවින් ඉතා සතුටින් මගේ නිදහසට කරුණු ගෙන හැර දක්වමි.</verse>
				<verse number="11">නමස්කාර කරන පිණිස, මා යෙරුසලමට ගොස් තවම දොළොස් දිනකට වඩා නැති බව සොයා දැනගැනීමට ඔබට පුළුවන.</verse>
				<verse number="12">දේව මාලිගයේ මා කිසිවකු සමඟ වාද කරනවා මේ පැමිණිලිකරුවන් දැක නැත. සිනගෝගයේදී හෝ නගරයේ වෙන යම් තැනකදී මා ජනයා කලඹවනවා ද ඔවුන් දැක නැත.</verse>
				<verse number="13">එසේම දැන් මට එරෙහිව ඔවුන් නගන චෝදනා, ඔබ ඉදිරියේ ඔප්පු කරන්නට ද ඔවුන්ට බැරි ය.</verse>
				<verse number="14">කෙසේ වුව ද නිකායකැයි ඔවුන් හඳුන්වන මෙම ධර්ම-මාර්ගයේ අනුගාමිකයකු වශයෙන් මම, අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේට නමස්කාර කරන්නෙක් වග පිළිගනිමි. එසේම දහම් නීතියට අදාළ හැම දෙයක් ගැනත්, දිවැස්වැකිවල සඳහන් දෑ ගැනත් මම විශ්වාස කරමි.</verse>
				<verse number="15">තවද ධර්මිෂ්ඨයින් හා අධර්මිෂ්ඨයින් යන දෙගොල්ලම නැවත නැගිටීමේ දෙවියන්වහන්සේ තුළ මොවුන්ට ඇති බලාපොරොත්තුවම මට ද ඇත.</verse>
				<verse number="16">එබැවින් දෙවියන්වහන්සේ හා මිනිසුන් ඉදිරියේ පිරිසිදු හෘද සාක්ෂියකින් සිටින්නට සැමවිට පරිශ්‍රම දරමි.</verse>
				<verse number="17">“වසරකට පසු මා යෙරුසලමට ආවේ, මගේ ජනයාට සහනාධාර දීමටත්, පඬුරු ඔප්පු කිරීමටත් ය.</verse>
				<verse number="18">දේව මාලිගාව තුළ මා එසේ කරමින් සිටියදී, ඔවුන් මා දකින වෙලාවේ මා සිටියේ චාරිත්‍රානුකූලව පවිත්‍රවයි. මා සමඟ සමූහයක් සිටියේවත්, මා කිසි කලබලයක් කළේවත් නැහැ.</verse>
				<verse number="19">එහෙත් එවෙලේ එහි සිටි ආසියා කලාපයෙන් පැමිණි යුදෙව්වන් කීප දෙනාට මට එරෙහිව යම් චෝදනාවක් ඇත්නම්, ඔවුන්ම මෙහි පැමිණ ඔබ ඉදිරියේ ඒ චෝදනා ඉදිරිපත් කිරීම යුතුව තිබුණා.</verse>
				<verse number="20">නැතහොත් මන්ත්‍රණ සභාව ඉදිරිපිට මා කවර අපරාධයක් කරනවා ඔවුන් දුටුවේ ද කියා දැන් මෙහි සිටින මේ මිනිසුන් පැමිණිලි කරත්වා.</verse>
				<verse number="21">මා ඔවුන් ඉදිරියේ සිට හඬ ගා කී එකම දේ නම්, ‘ඔබ ඉදිරියේ අද මා විනිශ්චයට ලක්ව ඇත්තේ මළවුන්ගෙන් නැගිටීමේ කාරණය ගැන ය’ කියා යැ” යි කියමින් පාවුල් කතාව නිම කළේ ය.</verse>
				<verse number="22">ධර්ම-මාර්ගය ගැන මැනවින් දැන සිටි පීලික්ස් නඩු වාරය නිම කරමින්, “සෙන්පති ලිසියස් පැමිණි පසු මම ඔබේ නඩුව තීන්දු කරමි” යි කීවේ ය.</verse>
				<verse number="23">තවද පාවුල් සිර බාරයේ තබන ලෙසත්, තරමක නිදහසක් ඔහුට දෙන ලෙසත්, ඔහුගේ අවශ්‍යතා සොයා බලන්නට ඔහුගේ මිතුරන්ට තහනම් නො කරන ලෙසත්, සියයේ හේවාපන්න නිලධාරියකුට ඔහු නියෝග කළේ ය.</verse>
				<verse number="24">ටික දිනකට පසු පීලික්ස්, යුදෙව් ස්ත්‍රියක වූ දෘසිල්ලා නම් සිය භාර්යාව කැටිව අවුත්, පාවුල් කැඳවා, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහිල්ල ගැන ඔහු කතා කරනු අසා සිටියේ ය.</verse>
				<verse number="25">ධර්මිෂ්ඨකම ගැන ද ආත්ම දමනය ගැන ද මතු පැමිණෙන විනිශ්චය ගැන ද පාවුල් කරුණු කියද්දී බයට පත් පීලික්ස්, “දැනට ඔය ඇති! ඔබට යන්න පුළුවනි. ඉඩ ලැබුණු විටෙක මම යළිත් ඔබට අඬ ගසන්නම්” යි කීවේ ය.</verse>
				<verse number="26">තවද පාවුල් තමාට අල්ලසක් දෙතැයි බලාපොරොත්තුව ඔහු වරින් වර පාවුල් තමා වෙත කැඳවා, ඔහු හා කතා බහ කළේ ය.</verse>
				<verse number="27">එහෙත් වසර දෙකකට පසු පීලික්ස්ගේ තනතුරට පොර්කියස් පෙස්තුස් පත්ව ආවේ ය. යුදෙව්වන් සතුටු කිරීමට කැමති වූ පීලික්ස්, පාවුල් සිරබාරයේම සිටින්නට හැරියේ ය.</verse>
			</chapter>
			<chapter number="25">
				<verse number="1">එම පළාතට පැමිණි පෙස්තුස් තුන් දිනකට පසු, කායිසාරියේ සිට යෙරුසලමට ගියේ ය.</verse>
				<verse number="2">එහිදී නායක පූජකයෝ හා යුදෙව් නායකයෝ පාවුල්ට එරෙහි පැමිණිල්ල ඔහුට ඉදිරිපත් කළහ.</verse>
				<verse number="3">තමන්ට කරන උපකාරයක් වශයෙන් පාවුල් යෙරුසලමට මාරු කර එවන ලෙස ඔවුහු පෙස්තුස්ගෙන් උදක්ම ඉල්ලූහ. එසේ කළේ, එහි ගෙන එන අතරේ රැක සිට ඔහු මරා දැමීමට ඔවුන් උපා යෙදූ බැවිනි.</verse>
				<verse number="4">පෙස්තුස් පිළිතුරු දෙමින්, “පාවුල් කායිසාරියේ රඳවා සිටියි. මමත් ඉක්මනින් එහි යෑමට අදහස් කරමි.</verse>
				<verse number="5">එබැවින් සුදුසු නායකයින් මා සමඟ ගොස්, ඒ මිනිසා අත යම් වරදක් වෙතොත්, ඔහුට එරෙහි චෝදනා එහිදී ඉදිරිපත් කරත්වා” යි පැවසී ය.</verse>
				<verse number="6">දින අටක්, දහයක් ඔවුන් අතරේ ගත කළ ඔහු ඉන්පසු කායිසාරියට ගියේ ය. පසු දින ඔහු අධිකරණ අසුනේ හිඳ, තමා ඉදිරියට පාවුල් ගෙන ඒමට අණ කළේ ය.</verse>
				<verse number="7">ඔහු පැමිණි පසු, යෙරුසලමේ සිට ආ යුදෙව්වෝ, ඔහු වටකර, තමනට කිසි සේත් ඔප්පු කළ නො හැකි බරපතළ චෝදනා රැසක් ඔහුට එරෙහිව නගන්නට වූහ.</verse>
				<verse number="8">පාවුල් සිය නිදහසට කරුණු දක්වමින්, “යුදෙව්වන්ගේ දහම් නීතියට විරුද්ධව හෝ දේව මාලිගාවට විරුද්ධව හෝ සීසර්ට විරුද්ධව මා කිසි වරදක් කර නැතැ” යි කීවේ ය.</verse>
				<verse number="9">එහෙත් යුදෙව්වන් සතුටු කරන්නට කැමති වූ පෙස්තුස් පාවුල් අමතමින්, “හොඳයි, යෙරුසලමට ගොස්, මා ඉදිරියේ මේ චෝදනා ගැන නඩු විභාගයට සූදානම් දැ?” යි ඇසී ය.</verse>
				<verse number="10">පාවුල් පිළිතුරු දෙමින්, “මා සිටින්නේ සීසර්ගේ අධිකරණය ඉදිරියේයි. මා විනිශ්චය කළ යුත්තේ මෙහිදීයි. ඔබ හොඳින්ම දන්නා පරිදි යුදෙව්වන්ට මා කිසි වරදක් කර නැත.</verse>
				<verse number="11">එහෙත් මා මරණ දඬුවමට සුදුසු වරදකරුවකු වේ නම්, මරණය ප්‍රතික්ෂේප නො කරමි. එහෙත් මට විරුද්ධව මේ යුදෙව්වන් නගන චෝදනා අසත්‍ය නම්, ඔවුන් අතට මා පාවා දීමේ අයිතියක් කිසිවකුටත් නැත. මම සීසර්ගේ විනිශ්චය ඉල්ලමි” යි කීවේ ය.</verse>
				<verse number="12">එවිට පෙස්තුස් තම උපදේශක මණ්ඩලය සමඟ සාකච්ඡා කොට, “ඔබ සීසර්ගේ විනිශ්චය ඉල්ලුවේ ය; සීසර් වෙත ඔබ යනු ඇතැ” යි ප්‍රකාශ කළේ ය.</verse>
				<verse number="13">ටික කලකට පසු, අග්‍රිපා රජු හා බෙර්නිකී, පෙස්තුස් පිළිගන්නට කායිසාරියට ආහ.</verse>
				<verse number="14">ඔවුන් බොහෝ දවසක් එහි නැවතී සිටියෙන්, පෙස්තුස් පාවුල්ගේ නඩුව ගැන රජු සමඟ සාකච්ඡා කරමින්, “පීලික්ස් සිරකරුවකු ලෙස තැබූ මිනිසෙක් මෙහි සිටී.</verse>
				<verse number="15">මා යෙරුසලමට ගිය විට නායක පූජකවරු හා යූදා ජන ප්‍රධානීහු ඒ මිනිසාට එරෙහිව පැමිණිලි කරමින් ඔහුට දඬුවම් නියම කරන්නැයි මගෙන් ඉල්ලුවා.</verse>
				<verse number="16">“මා ඔවුන්ට කීවේ, යම් කෙනකු ඔහුගේ පැමිණිලිකරුවන්ට මුහුණට මුහුණ නො ගස්වා, ඔවුන්ගේ චෝදනා ගැන නිදහසට කරුණු දක්වන්නට ඔහුට අවස්ථාවක් නො දී, කිසිවකු දඬුවමට පාවා දීම රෝමවරුන්ගේ පිළිවෙත නො වන වගයි.</verse>
				<verse number="17">ඔවුන් මෙහි පැමිණි විට, මා පමා නො කොට පසුදාම අධිකරණය රැස් කරවා, ඒ මිනිසා ගෙනෙන්නට අණ කළා;</verse>
				<verse number="18">පැමිණිලිකරුවන් ඔහුට චෝදනා නගන්නට නැගිටුණු නමුත්, මා අපේක්ෂා කළ අපරාධයක් ගැන කිසිම චෝදනාවක් ඔවුන් කළේ නැහැ.</verse>
				<verse number="19">ඒ වෙනුවට ඔවුන්ට වූයේ ඔවුන්ගේ ආගම පිළිබඳව හා ජීවත්ව සිටිතැයි පාවුල් අවධාරණ කරන යේසුස් නම් මිය ගිය කෙනකු පිළිබඳ තර්කයට කරුණුයි.</verse>
				<verse number="20">මේ නඩුව විභාග කරන්නේ කෙසේදැයි මට සිතා ගන්නට නො හැකි වුණා. එබැවින් යෙරුසලමට ගොස් එහිදී මෙම චෝදනා ගැන විභාග කරනවාට කැමතිදැයි මා ඔහුගෙන් ඇසුවා.</verse>
				<verse number="21">එහෙත් පාවුල්, අධිරාජයාගේ තීන්දුවට නඩුව තබා ගන්නට ඉල්ලූ නිසා සීසර් වෙත යවන තෙක් ඔහු සිර බාරයේ තබන්නට මා අණ කළා” යි පැවසී ය.</verse>
				<verse number="22">එවිට අග්‍රිපා පෙස්තුස් අමතමින්, “ඒ මනුෂ්‍යයා කතා කරනවා අහන්නට මාත් කැමති” යි කීවේ ය. “හෙටම, ඔබ ඔහුට සවන් දෙනු ඇතැ” යි ඔහු කීවේ ය.</verse>
				<verse number="23">පසු දින අග්‍රිපා රජු හා බෙර්නිකී මහත් හරසරින් යුතුව උසස් හමුදා නිලධාරීන් ද පුරවරයේ ප්‍රභූන් ද සමඟ රැස්වීම් ශාලාවට ඇතුල් වූහ. එවිට පෙස්තුස්ගේ නියෝගය ලෙස පාවුල් ද එහි ගෙනෙනු ලැබී ය.</verse>
				<verse number="24">එවිට පෙස්තුස්, “අග්‍රිපා රජතුමනි, අප සමඟ මෙහි සිටින සියල්ලෙනි, මේ මිනිසා ඔබට පෙනෙනවා නො වේ ද! යෙරුසලමේදී මෙන්ම මේ කායිසාරියේදීත් මුළු යුදෙව් සමාජය ම මොහු තවත් ජීවත් විය යුතු නැතැයි ඝෝෂා කරමින් මට ආයාචනා කළා;</verse>
				<verse number="25">එහෙත් මරණ දඬුවමට හේතුවක් ඔහු අත නැති වග මට පෙනී ගියත්, ඔහු අධිරාජයාගේ විනිශ්චය ඉල්ලූ බැවින්, රෝමයට ඔහු යැවීමට මා තීරණය කළා.</verse>
				<verse number="26">එසේ වුවත්, මොහු ගැන අප අධිරාජයාණන්ට ලියා යැවීමට තරම් වූ නිශ්චිත යමක් මා ළඟ නැහැ. එබැවින් මෙසේ විභාග කිරීමෙන් පසු, ඔහු ගැන ලියා යැවීමට සුදුසු යමක් මට සපයා ගැනීම සඳහා ඔබ හැම ඉදිරියටත්, විශේෂයෙන්ම අග්‍රිපා රජතුමනි, ඔබ ඉදිරියටත් මොහු පැමිණ වීමි.</verse>
				<verse number="27">සිරකරුවකුට එරෙහිව ඇති චෝදනා නිශ්චිතව නො දක්වා ඔහු පිටත් කර යැවීම සාධාරණ නැති වග මට පෙනේ” යි පැවසී ය.</verse>
			</chapter>
			<chapter number="26">
				<verse number="1">එවිට අග්‍රිපා රජු පාවුල් අමතමින්, “ඔබ ගැන කරුණු කියන්නට ඔබට අවසර ඇතැ” යි පැවසී ය. එවිට පාවුල් අත ඔසවා මෙසේ තම නිදහසට කරුණු කියන්නට වන්නේ ය:</verse>
				<verse number="2">“අග්‍රිපා රජතුමනි, යුදෙව්වන් මට එරෙහිව නගන සියලු චෝදනා ගැන අද ඔබ ඉදිරියේ මගේ නිදහසට කරුණු කියන්නට ඉඩ ලැබීම භාග්‍යයක් කොට සලකමි.</verse>
				<verse number="3">මා එසේ කියන්නේ විශේෂයෙන්ම යුදෙව් සියලු චාරිත්‍ර මෙන්ම වාද භේද ගැන ඔබ හොඳින් දන්නා නිසයි. එබැවින් ඉවසීමෙන් මට සවන් දෙන මෙන් ඉල්ලමි.</verse>
				<verse number="4">“බාල කාලයේ පටන් මගේ කල් ක්‍රියාව ගැන, මුල් අවදියේ මගේ රටේදීත්, යෙරුසලමේදීත් මගේ පැවැත්ම ගැන, සියලු යුදෙව්වෝ දනිති.</verse>
				<verse number="5">බොහෝ කලෙක පටන් ඔවුහු මා හඳුනති. එබැවින් අප දහමේ ඉතාම දැඩි නිකායට අනුව පරිසිවරයකුව මා ජීවත් වූ බවට සාක්ෂි දරන්නට කැමති නම් ඔවුනට පුළුවන.</verse>
				<verse number="6">අද මා මෙසේ විභාග කරනු ලබන්නට හේතුව, අපගේ පියවරුනට දෙවියන්වහන්සේ දුන් පොරොන්දුව ගැන ඇති මගේ බලාපොරොත්තුවයි.</verse>
				<verse number="7">අපේ ගෝත්‍ර දොළොසම මහත් ලැදියාවෙන් දිවා රෑ දෙක්හි දෙවියන්වහන්සේට මෙහෙ කරමින්, බලා සිටින්නේ මේ පොරොන්දුව ඉටු වන තුරුයි. රජතුමනි, මේ බලාපොරොත්තුව නිසාමයි යුදෙව්වන් මට චෝදනා එල්ල කරන්නේ.</verse>
				<verse number="8">දෙවියන්වහන්සේ මළවුන් නැගිටුවීම, සිදු විය නොහැක්කකැයි ඔබ කවුරුන් හෝ සිතන්නේ ඇයි?</verse>
				<verse number="9">“කලක් මාත්, ඒත්තු ගෙන සිටියේ නාසරෙත්හි යේසුස්වහන්සේගේ නාමයට එරෙහිව කළ හැකි හැම දෙයක්ම කිරීම, කළ යුත්තකැයි කියායි;</verse>
				<verse number="10">යෙරුසලමේදී මා කළේ එයයි; නායක පූජකයින්ගේ අධිකාරිත්වය ඇතිව, ශුද්ධවන්තයින් බොහෝ දෙනකු සිර ගෙවල දැමුවෙමි. ඔවුන් මරා දැමීමේදී ඔවුන්ට එරෙහිව ඡන්දය දුනිමි.</verse>
				<verse number="11">බොහෝ වර ඔවුනට දඬුවම් දෙන්නට එක් සිනගෝගයකින් තවත් එකකට ගියෙමි; දේවාපහාස කරන්නට ඔවුන්ට බල කළෙමි. ඔවුන්ට විරෝධිව වූ උමතුවෙන්, ඔවුන්ට වධ දෙන්නට විදෙස් නගරවලටත් ගියෙමි.</verse>
				<verse number="12">“එසේ එක් ගමනකදී මම නායක පූජකයින්ගේ අධිකාරී බලය ඇතිව, ඔවුන්ගේ අණ පරිදි දමස්කය බලා යමින් සිටියෙමි.</verse>
				<verse number="13">එසේ යන අතර, මද්දහනේ පමණ අහෝ රජතුමනි! හිරුටත් වඩා දීප්තිමත් ආලෝක ධාරාවක් අහසින් විහිදී මා ද මගේ සගයින් ද වටා බැබළෙනු දැක්කෙමි.</verse>
				<verse number="14">අප සැවොම බිම ඇද වැටුණා. එවිට, ‘සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්ද? කෙවිටට පයින් ගැසීම ඔබට අසීරු යැ’ යි හෙබ්‍රෙව් බසින් මා අමතන කටහඬක් මට ඇසුණා.</verse>
				<verse number="15">“ ‘ස්වාමිනි, ඔබතුමා කවුරු දැ?’ යි එවිට මා ඇසුවා. “ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, ‘ඔබ විසින් වධ හිංසා කරන යේසුස් මමයි.</verse>
				<verse number="16">දැන් නැගිට, දෙපයින් සිටගන්න; මා ඔබට මෙසේ පෙනුණේ, ඔබ මා දුටු අයුරු ද මා ඔබට පෙන්වා දෙන දෑ ද ගැන සේවකයකු ලෙසත්, සාක්ෂිකරුවකු ලෙසත් ඔබ පත් කරන්නටයි.</verse>
				<verse number="17">ඔබේම ජනයා අතින් හා අන්‍ය-ජාතිකයින් අතින් මම ඔබ මුදා ගන්නෙමි. මා ඔවුන් වෙත ඔබ යවන්නේ,</verse>
				<verse number="18">අන්ධකාරයෙන් ආලෝකයටත්, සාතන්ගේ බලයෙන් දෙවියන්වහන්සේ වෙතත් ඔවුන් හරවන්නට ඔවුන්ගේ ඇස් පාදන පිණිසයි. එමඟින් ඔවුන් පාප කමාව ද මා අදහා ගැනීම තුළින් පවිත්‍ර කරනු ලැබූවන් අතරේ ස්ථානයක් ද ලබන පිණිස යැ’ යි පැවසූ සේක.</verse>
				<verse number="19">“එබැවින් අග්‍රිපා රජුනි, එම ස්වර්ගීය දර්ශනයට මා අකීකරු නො වී,</verse>
				<verse number="20">පළමුව දමස්කයේ සිටින්නන්ටත්, ඉන්පසු යෙරුසලමෙහි හා යුදය රට මුළුල්ලෙහි ද සිටින්නන්ටත්, එසේම විදේශීන්ටත් දේශනා කරමින්, ඔවුන් පසුතැවිලි විය යුතු වගත්, එසේ පසුතැවිලි වූ වග තම ක්‍රියා කලාපය තුළින් පෙන්විය යුතු වගත් ප්‍රකාශ කළෙමි.</verse>
				<verse number="21">ඒ හේතුවටයි යුදෙව්වන් දේව මාලිගාවේදී මා අල්ලා, මා මරන්නට තැත් කළේ.</verse>
				<verse number="22">එහෙත් මේ අද දවස දක්වා දෙවියන්වහන්සේගේ පිළිසරණ ලැබ, මෙසේ මෙතැන සිටගෙන, උසස් පහත් දෙගොල්ලන්ටම එක සේ සාක්ෂි දරමි. මා පවසන්නේ දිවැසිවරුන් හා මෝසෙස් මතු සිදු වෙතැයි කී දේ මිස, ඊට වැඩි යමක් නො වේ.</verse>
				<verse number="23">එය නම්, ක්‍රිස්තුස්වහන්සේ දුක් විඳිය යුතු බවත්, මළවුන්ගෙන් නැගිටි ප්‍රථමයාණන් වී, ඉශ්‍රායෙල් ජනයාටත්, අන්‍ය-ජාතීන්ටත් ආලෝකය ප්‍රකාශ කළ යුතු බවත් ය.”</verse>
				<verse number="24">මෙවිට ඔහුගේ කරුණු දැක්වීමට බාධා කළ පෙස්තුස්, “ඔබට ඔල්මාද පාවුල්! ඔබේ උගත්කම වැඩි වී උමතු වෙලායැ” යි මහ හඬින් පැවසී ය.</verse>
				<verse number="25">පාවුල් පිළිතුරු දෙමින්, “මට උමතු නැත අති උතුම් පෙස්තුස් තුමනි, මා පවසන්නේ පිරිසිදු ඇත්තයි;</verse>
				<verse number="26">මා කියන දෑ රජතුමා හොඳින්ම දනී; එබැවින් විවෘතවයි එතුමන්ට මා කතා කරන්නේ; මේ කිසිවක් අස්සක, මුල්ලකදී කළ දෑ නො වන බැවින්, මින් කිසිවක් එතුමාගේ දැනගැන්මෙන් සැඟවී නැති බව මම ඒත්තු ගෙන සිටිමි.</verse>
				<verse number="27">අග්‍රිපා රජතුමනි, ඔබ දිවැසිවරුන් විශ්වාස කරනවා නො වේ ද? ඔබ විශ්වාස කරන බව මම දනිමි” යි කීවේ ය.</verse>
				<verse number="28">එවිට අග්‍රිපා රජු පාවුල් අමතමින්, “වැඩි උත්සාහයක් නැතුවම ඔබ මා ක්‍රිස්තියානිකාරයකු කරන්නට සිතනවා වගේ යැ?” යි පැවසී ය.</verse>
				<verse number="29">“සුළු වේලාවකින් හෝ දිගු කලකින් හෝ ඔබත්, අද මට සවන් දෙන සැවොමත් මේ යදම්වලින් තොරව, මා වගේ වේවායි මම දෙවියන්වහන්සේට යාච්ඤා කරමි” යි පාවුල් පිළිතුරු දුන්නේ ය.</verse>
				<verse number="30">එවිට රජු නැගිට්ටේ ය; ආණ්ඩුකාරයා ද බෙර්නිකී ද ඔවුන් සමඟ අසුන් ගෙන සිටි අය ද නැගිටුණෝ ය.</verse>
				<verse number="31">ඔවුහු ශාලාවෙන් පිටතට එමින්, “මේ මිනිසා මරණයටවත්, සිරගත වීමටවත් හේතු වන කිසිවක් කර නැතැ” යි කීහ.</verse>
				<verse number="32">“සීසර්ගේ විනිශ්චය නො ඉල්ලුවේ නම් මේ මිනිසා නිදහස් කර හරින්නට තිබිණැ” යි අග්‍රිපා පෙස්තුස්ට පැවසී ය.</verse>
			</chapter>
			<chapter number="27">
				<verse number="1">අප ඉතාලිය බලා යාත්‍රා කළ යුතු යයි තීරණය වූ කල, පාවුල් හා තවත් සිරකරුවන් ඇතැම් දෙනකු අධිරාජ බලඇණියේ සියයේ සෙන්පතියකු වූ ජුලියස් භාරයට පත් කෙරිණි.</verse>
				<verse number="2">ආසියා කලාපයේ වෙරළබඩ වරායන් බලා පිටත්වීමට සූදානමින් තිබූ අද්‍රාමුත්තියේ නැවකට ගොඩ නැගුණු අපි වෙරළින් ඈත් වන්නට වීමු. තෙසලෝනිකයෙහි අරිස්තාර්කස් නම් මකිදෝනි වැසියෙක් ද අප සමඟ විය.</verse>
				<verse number="3">පසු දින අපි සීදොන්ට ගොඩ බැස්සෙමු. ජුලියස්, පාවුල්ට කාරුණික වී, ඔහුගේ මිතුරන් හමුවට යෑමටත්, ඔවුන් වෙතින් ඔහුගේ අවශ්‍යතා සපයා ගැනීමටත් ඉඩ දුන්නේ ය.</verse>
				<verse number="4">එතැනින් යළි පිටත්ව ගිය ද, සුළඟ අපට විරුද්ධව හැමූ බැවින් අපි සයිප්‍රස් ගොඩබිම් මුවාවෙන් යාත්‍රා කළෙමු.</verse>
				<verse number="5">සිලිසියා හා පම්පිලිය වෙරළාසන්න මුහුද මැදින් යාත්‍රා කළ අපි ලිසියාහි මූරා වෙත ගොඩ බැස්සෙමු.</verse>
				<verse number="6">ඉතාලිය බලා යන ඇලෙක්සන්ද්‍රියාවේ නැවක් එහිදී සියයේ හේවාපන්න නිලධාරියාට හමු වූයෙන්, ඔහු අප එහි නැංවී ය.</verse>
				<verse number="7">දින ගණනාවක් අපහසුතා මැද සෙමින් සෙමින් යාත්‍රා කරමින්, අපි ක්නීදස් ආසන්නයට ම පැමිණියෙමු. තවදුරටත් ඉදිරියට යන්නට සුළඟ අපට ඉඩ නුදුන් බැවින් අපි ක්‍රීත දිවයිනේ ගොඩබිම් මුවාවෙන් සැල්මෝනෙ තුඩුව ඉදිරිපිටින් යාත්‍රා කරමින්,</verse>
				<verse number="8">වෙරළාසන්නයේම ඉතා අපහසුවෙන් සුන්දර වරාය නම් වූ ස්ථානයට ළඟා වීමු. එය පිහිටියේ ලසේයා නගරය අසල ය.</verse>
				<verse number="9">දින ගණනාවක් ම ගත විණි. මේ වන විට මුහුදු ගමන බෙහෙවින් අනතුරුදායක වූයේ උපවාස කාලය ද ගෙවී තිබූ බැවිනි. පාවුල් ඔවුනට අනතුරු අඟවමින්,</verse>
				<verse number="10">“මහත්වරුනි, අපේ මුහුදු ගමන විපත්තිදායක විය හැකියි; ඉන් නැවටත්, නැව් බඩුවලට පමණක් නො ව අපේම ජීවිතවලටත් අනතුරුදායක සහ හානිදායක බව මට පෙනේ” යි කීවේ ය.</verse>
				<verse number="11">එහෙත් සියයේ හේවාපන්න නිලධාරියා පාවුල්ගේ කීම අසනු වෙනුවට නැව්පතිගේ ද නැව් හිමියාගේ ද උපදෙස් පිළිගත්තේ ය.</verse>
				<verse number="12">ශීත කාලය ගත කරන්නට එම වරාය හිතකර නො වූයෙන්, පිනික්සිය වෙත ළඟා වී ශීත කාලය එහි ගත කිරීමේ බලාපොරොත්තුවෙන් නැව දියත් කළ යුතු බව වැඩි දෙනාගේ තීරණය විණි. නිරිත හා වයඹ දිශාවන්ට මුහුණ ලා පිහිටි පිනික්සිය, ක්‍රීතයේ වරායකි.</verse>
				<verse number="13">දකුණු දිග සුළඟ මදින් මඳව හමන්නට වූ කල, තම අදහස ඉටුවිනැයි සිතූ ඔවුහු නැංගුරම් ඔසවා ක්‍රීත වෙරළ ආසන්නයේ යාත්‍රා කරන්නට වන්හ.</verse>
				<verse number="14">වැඩි වේලාවක් යන්නට මත්තෙන්, යූරකුලෝ නමින් හැඳින්වෙන චණ්ඩ මාරුතය ගොඩබිම ගසා හමන්නට වන්නේ ය;</verse>
				<verse number="15">නැව කුණාටුවට හසුවූයෙන්, එය සුළං අතට හරවා ගැනීමට බැරි විය. එබැවින් ඒ ප්‍රයත්නය අත්හළ විට අප ගසාගෙන යැවිණ.</verse>
				<verse number="16">අප කවුදා නම් කුඩා දිවයිනෙහි ගොඩබිම් මුවාවෙන් පාවී යද්දී, මහත් වෙහෙසක් දරා ජීවිතාරක්ෂක බෝට්ටුව බේරා ගතිමු.</verse>
				<verse number="17">බෝට්ටුව ඔසවා නැවට ගත් නැවියෝ, නැව්බඳ සවිමත් කරන්නට කඹ නැව යටින් දමා බැන්දහ. සර්ටිස්හි වැලි කණ්ඩිවල නැව ගැටේ ය යන බියෙන් ඔවුහු පාවෙන නැංගුරම දමා, නැව පාවී යන්නට ඉඩ හළහ.</verse>
				<verse number="18">කුණාටුව සැහැසිව අපට පහර දෙන්නට වූයෙන්, ඔවුහු පසු දා නැව් බඩු නැවෙන් පිටතට දැමූහ.</verse>
				<verse number="19">තුන් වන දිනයේ ඔවුහු නැවේ උපකරණ ද තම අත්වලින්ම නැවෙන් පිටත හෙළූහ.</verse>
				<verse number="20">දින ගණනාවක් හිරු හෝ තරු හෝ නො පෙනී, කුණාටුව ද නො නැවතීම වියරු වූයෙන්, ගැලවීම ගැන තිබූ සියලු බලාපොරොත්තු අවසානයේදී අපි අත්හැර දැමීමු.</verse>
				<verse number="21">ඔවුන් බොහෝ දිනක් කිසි අහරක් නො ගෙන සිටියදී, පාවුල් ඔවුන් ඉදිරියට ගොස්, “මිනිසුනි, ක්‍රීතයේ සිට යාත්‍රා නො කරන ලෙස මා දුන් අවවාදය ඔබ පිළිගත යුතුව තිබුණා. එසේ වී නම් මේ හානියත්, අලාභයත් නො වන්න තිබුණා.</verse>
				<verse number="22">කෙසේ වුවත්, දැන් මා ඕනෑකමින් ඔබෙන් ඉල්ලා සිටින්නේ, ධෛර්යවත් ව සිටින ලෙසයි. ජීවිත හානියක් ඔබ කිසිවකුටත් සිදුවන්නේ නෑ; විනාශ වනු ඇත්තේ නැව පමණයි.</verse>
				<verse number="23">මා අයිති, මා සේවය කරන දෙවියන්වහන්සේගේ දූතයෙක් ඊයේ රෑ මා පසෙකින් සිට,</verse>
				<verse number="24">‘පාවුල් බය නො වන්න! ඔබ සීසර් ඉදිරියේ පෙනී සිටිය යුතුයි. ඔන්න! ඔබ සමඟ යාත්‍රා කරන සියලු දෙනාගේ ජීවිත, දෙවියන්වහන්සේ ඔබට ප්‍රදාන කර ඇතැ’ යි කීවා.</verse>
				<verse number="25">එබැවින් මිනිසුනේ, ධෛර්යය ඇති කරගන්න; මන්ද මම දෙවියන්වහන්සේ විශ්වාස කරමි. සිදුවන්නේ උන්වහන්සේ මට කී විදියටමයි.</verse>
				<verse number="26">කෙසේ වෙතත්, අප කිසියම් දිවයින් වෙරළකට ගසාගෙන යා යුතුව ඇතැ” යි පැවසී ය.</verse>
				<verse number="27">දාහතර වන දවසේ රැයේ අප සිටියේ අද්‍රියාතික මුහුදේ ගසාගෙන යමින් ය. රෑ මැදියම පමණ වන විට, අප ගොඩබිමකට ළඟා වන බැව් නැවියන්ට දැනී ගියේ ය.</verse>
				<verse number="28">ඔවුන් එතැන ගැඹුර මැන බැලූ කල, බඹ විස්සක් වග පෙනී ගියේ ය; මද වෙලාවකට පසු යළි මැන බැලූ කල, ගැඹුර බඹ පහළොවක් විය.</verse>
				<verse number="29">ගල් පරවල අප හැපෙතැයි බයෙන් ඔවුහු නැව් අවරයෙන් නැංගුරම් හතරක් දමා, හිරු උදාව තෙක් ආශාවෙන් බලා සිටියහ.</verse>
				<verse number="30">නැව් ඇණියෙන් ද නැංගුරම් ලන්නට යන වග ඇඟවූ නැවියෝ නැවෙන් පලා යන්නට බලමින් නැවේ බෝට්ටුව මුහුදට පහත් කළහ.</verse>
				<verse number="31">එවිට පාවුල්, “මේ මිනිසුන් නැවේම සිටියොත් මිස, ඔබට ගැලවී යා නො හැකි” යි සියයේ හේවාපන්න නිලධාරියා හා හේවායින්ට කී ය.</verse>
				<verse number="32">එවිට හේවායෝ බෝට්ටුව නැවට බැඳ තිබූ රැහැන් කපා එය ඉවත පාවී යන්නට හැරියහ.</verse>
				<verse number="33">පහන් වන්නට ආසන්නයේ යමක් ආහාරයට ගන්නැයි පාවුල් උදක්ම ඔවුන්ගෙන් ඉල්ලී ය. “කුමක් වේ දෝයි නො දැන දිගටම දෙගිඩියාවෙන් පසුගිය දවස් දාහතර ඔබ ගත කළේ නිරාහාරව; ඔබ කිසිවක් කෑවේ නෑ.</verse>
				<verse number="34">දැන් මා ඉතා ඕනෑකමින් ඔබෙන් ඉල්ලනවා ආහාරයක් ගන්නා ලෙස. එය ඔබගේ දිවි රැක ගැනීමට අවශ්‍ය ය; ඔබ කිසිවකුගේ හිසකේ ගසකටවත් හානියක් සිදුවන්නේ නැතැ” යි</verse>
				<verse number="35">පැවසූ පාවුල්, අනතුරුව රොටි ගෙන, ඔවුන් හැම බලා සිටියදී දෙවියන්වහන්සේට ස්තුති කර, ඒවා කඩා, කෑමට වන්නේ ය.</verse>
				<verse number="36">ඉන් අනුබල ලද ඔවුහු කැමැත්තෙන්ම ආහාර ගත්හ.</verse>
				<verse number="37">නැවෙහි වූ අප සියල්ලෝ දෙසිය හැත්තෑ හයදෙනෙකි.</verse>
				<verse number="38">ඇති තරම් කෑ ඔවුහු, නැවේ තිබූ ධාන්‍ය ද මුහුදේ හෙළා නැව සැහැල්ලු කළහ.</verse>
				<verse number="39">දවස උදා වූ පසු, ඒ ගොඩබිම හඳුනා ගැනීමට ඔවුන්ට බැරි විය. එහෙත් වෙරළක් සහිත මුහුදු බොක්කක් දුටු ඔවුහු හැකි වේ නම් නැව එහි ගෙන යෑමට තීරණය කළහ.</verse>
				<verse number="40">නැංගුරම් කපා, ඒවා මුහුදට හැර දැමූ ඔවුහු, සුක්කානම් හබල් බැඳි රැහැන් ද මුදා හළහ. ඉන්පසු ඔවුහු නැවේ ඉදිරි රුවල නගා, නැව සුළඟින් වෙරළට ගසාගෙන යන්නට සැලැස්වූහ.</verse>
				<verse number="41">එහෙත් නැව වැලි කණ්ඩියක හැපී, වැල්ලේ එරිණි. නැව් ඇණිය එරී සොලවන්නට බැරි විය; නැව් අවරය හැපී, බිඳෙන සැඩ රළින් කෑලිවලට කැඩී යන්නට විණි.</verse>
				<verse number="42">සිරකරුවන් පිහිනා පැන යෑම වැළැක්වීමට හේවායෝ ඔවුන් මරා දමන්නට සැරසුණහ.</verse>
				<verse number="43">එහෙත් පාවුල් ආරක්ෂා කිරීමට ඕනෑ වූ සියයේ හේවාපන්න නිලධාරියා ඔවුන්ගේ සැලසුම වැළැක්විය. පිහිනීමට හැකි අය පළමු කොට නැවෙන් පැන ගොඩට යන ලෙස ඔහු අණ කළේ ය.</verse>
				<verse number="44">සෙසු අය ලෑලි හෝ නැවේ සුන්බුන්වල ආධාරයෙන් ගොඩට යා යුතු විය. මෙසේ සියල්ලෝම ආරක්ෂා සහිතව ගොඩබිමට වන්හ.</verse>
			</chapter>
			<chapter number="28">
				<verse number="1">ඒ දූපත, මෝල්ටා නමින් හැඳින්වෙන වග අප දැන ගත්තේ, එසේ ගැලවී ගොඩබිමට ආ පසුව ය.</verse>
				<verse number="2">දූපත්වාසීහු අපට අසාමාන්‍යව කාරුණික වූහ. වැස්ස හා සීතල නිසා, ඔවුහු ගිනි මැලයක් දල්වා සාදරයෙන් අප හැම පිළිගත්හ.</verse>
				<verse number="3">දර මිටියක් එකතු කළ පාවුල්, එය ගිනි ගොඩට දැමීමට ළං වූ විට, රස්නය නිසා දර අතරින් පිටතට ආ පොළඟෙක් ඔහුගේ අතේ එල්ලිණ.</verse>
				<verse number="4">සර්පයා පාවුල්ගේ අතේ එල්ලෙනු දුටු දූපත්වාසීහු, “සැකයක් නැහැ; මේ මිනිහා මිනීමරුවෙක්; මිනිහා මුහුදින් බේරුණත් ඔහුට ජීවත් වීමට යුක්ති ධර්මය ඉඩ දී නැතැ” යි තමන් අතරේ කියා ගත්හ.</verse>
				<verse number="5">එහෙත් පාවුල් අත ගසා, ඌ ගින්නෙහි හෙළා, කිසි අනතුරක් නැතිව සිටියේ ය.</verse>
				<verse number="6">ඔහු ඉදිමෙනු ඇත කියා හෝ මැරී වැටෙනු ඇත කියා ඔවුහු බලා සිටියහ. එසේ බොහෝ වෙලාවක් බලා සිටි නමුදු ඔහුට කිසි විපතක් සිදු නො වූ බැවින් තම අදහස් වෙනස් කර ගත් ඔවුහු, ඔහු දෙවියෙකැයි කීහ.</verse>
				<verse number="7">දූපත් නායක පබ්ලියස්ට අයත් වතු යායක් ඒ අසල තිබිණි. තම නිවසට අප පිළිගත් ඔහු දවස් තුනක් අපට ආගන්තුක සත්කාර කළේ ය.</verse>
				<verse number="8">ඔහුගේ පියා උණෙන් හා අතීසාරයෙන් පෙළෙමින් ඔත්පළව සිටියේ ය. පාවුල් ඔහු සිටි තැනට ගොස්, යාච්ඤා කර, ඔහු පිට අත් තබා, ඔහු සුව කළේ ය.</verse>
				<verse number="9">එය සිදු වූ පසු දිවයිනේ සෙසු රෝගීහු ද පැමිණියාහු සුව කරන ලදහ.</verse>
				<verse number="10">ඔවුහු අපට බොහෝ ගරු සත්කාර කළහ. අප යළි යාත්‍රා කරන්නට සූදානම් වූ කල, අපට අවශ්‍ය දෑ ඔවුහු නැවට පැටවූහ.</verse>
				<verse number="11">ශීත කාලය ඒ දූපතේ ගත කළ අපි තුන් මසකට පසු, නැවක නැගී යළි යාත්‍රා කළෙමු. “නිඹුල් සොහොයුරු” යන ලාංඡනයෙන් යුතු එය ඇලෙක්සන්ද්‍රියාවේ නැවකි.</verse>
				<verse number="12">සිරාකුස වෙත පැමිණි අපි දවස් තුනක් එහි ගත කළෙමු;</verse>
				<verse number="13">එතැන් සිට යාත්‍රා කර, රෙගියුම් වෙත ළඟා වීමු. ඊට පසු දින දකුණු දිග සුළඟ හැමූයෙන්, අපි ඊළඟ දවසේ පොතියොලි වෙත ළඟා වීමු.</verse>
				<verse number="14">එහිදී අපට සහෝදරයින් කීප දෙනෙක් හමු විණ. තමන් හා සතියක් ගත කරන ලෙස ඔවුහු අපට ඇරියුම් කළහ. මෙසේ අපි රෝමයට පැමිණියෙමු.</verse>
				<verse number="15">අප එන වග සැල වූ එහි සහෝදරයෝ අප මුණ ගැසෙන්නට අප්පියුස් වෙළඳ සංකීර්ණය හා තානායම් තුන දක්වා අපගේ පෙර මඟට ආහ. ඔවුන් ඇස ගැසුණු කල, දෙවියන්වහන්සේට තුති පිදූ පාවුල් ධෛර්යවත් විය.</verse>
				<verse number="16">අප රෝමයට පැමිණි පසු, එක් හේවායකුගේ මුරකාව යටතේ තමන් කැමති තැනක සිටින්නට පාවුල්ට අවසර ලැබිණි.</verse>
				<verse number="17">තුන් දිනකට පසු පාවුල් යුදෙව් නායකයින් කැඳවා යැවී ය. ඔවුන් රැස් වූ කල ඔවුන් ඇමතූ පාවුල් “මා සහෝදරයිනි, අප ජනයාට හෝ අපේ පියවරුන්ගේ චාරිත්‍රවලට එරෙහිව මා කිසි වරදක් නො කළ නමුත් යෙරුසලමේදී මා අත්අඩංගුවට ගෙන රෝමවරුන් අතට මා පත් කරනු ලැබුවා.</verse>
				<verse number="18">ඔවුන් මා විභාග කළ විට, මරණ දණ්ඩනයට හේතු වන අපරාධයක් සිදු වී නැති බැවින්, මා නිදහස් කරන්නට අදහස් කළා.</verse>
				<verse number="19">එහෙත් යුදෙව්වන් ඊට විරුද්ධ වූ නිසා සීසර් අධිරාජයාගේ විනිශ්චය ඉල්ලීමට මා පෙලඹුණා. එසේ කළේ මගේම ජනතාවට එරෙහිව වරද පවරන අදහසින් නො වේ.</verse>
				<verse number="20">මේ හේතුව නිසයි ඔබ දකින්නටත්, ඔබ හා කතා කරන්නටත් මා ඔබ කැඳවූයේ; මෙසේ මා යදමින් බඳිනු ලැබ සිටින්නේ ඉශ්‍රායෙල්ගේ බලාපොරොත්තුව නිසාවෙනි” යි පැවසී ය.</verse>
				<verse number="21">ඔවුහු පිළිතුරු දෙමින්, “යුදයේ සිට ඔබ ගැන සඳහන් ලිපි කිසිවක් අපට ලැබී නැහැ. එහි සිට මෙහි ආ අපගේ සහෝදරයින්ගෙන් කිසිවකු ඔබ ගැන නරක ආරංචියක් දැන්වූයේවත්, කතා කළේවත් නැහැ.</verse>
				<verse number="22">එහෙත් ඔබේ මතය අසා දැනගන්නට අපි කැමතියි; මොකද මේ නිකායට එරෙහිව හැම තැනකම කතා කෙරෙන වග අප දන්නවා” යි කීහ.</verse>
				<verse number="23">පාවුල් හමුවීමට දිනයක් නියම කර ගත් ඔවුහු, එදින ගණනින් අති මහත් පිරිසක් පාවුල්ගේ නවාතැනට රැස් වූහ. පාවුල් උදය පටන් සවස දක්වා දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට කරුණු පැහැදිලි කරමින්, මෝස‍ෙස්ගේ දහම් නීති සංග්‍රහය හා දිවැසිවරුන්ගේ ලියවිලි ගෙන හැර පාමින් යේසුස්වහන්සේ ගැන ඔවුන්ට ඒත්තු ගන්වන්නට උත්සාහ ගත්තේ ය.</verse>
				<verse number="24">ඔහු කී දෑවලින් ඇතමුන් ඒත්තු ගැන්විණි; එහෙත් සෙසු අය විශ්වාස කළේ නැත.</verse>
				<verse number="25">එබැවින් ඔවුහු එතැනින් බැහැරව ගියේ ඔවුනොවුන් අතරේ මත භේද ඇතිව ය. ඔවුන් පිට වී යන්නට පෙර පාවුල් මෙසේ ප්‍රකාශ කළේ ය: “දිවැසිවර යෙසායා මඟින් ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබේ පියවරුන්ට පැවසූ දේ කොතරම් මනාද! ඒ මෙසේයි:</verse>
				<verse number="26">“ ‘මෙම ජනයා වෙත ගොස්, මෙසේ පවසන්න, “නිරතුරු ඔබ අසනු ඇත. එහෙත් වටහා ගන්නේ නැත; නිරතුරු ඔබ දකිනු ඇත. එනමුත් සිතට ගන්නේ නැත.”</verse>
				<verse number="27">මන්ද තමන්ගේ ඇස්වලින් නො දක්නා පිණිස ද, තම කන්වලින් නො අසන පිණිස ද, තමන්ගේ සිත්වලින් වටහා නො ගන්න පිණිස ද, සුවය ලබන්නට මා වෙත නො හැරෙන පිණිස ද, මොවුන්ගේ හදවත් දැඩිව තිබේ. ඔවුහු නො අසන කන් ඇතිව, තම ඇස් පියාගෙන සිටිති’ යනුයි.</verse>
				<verse number="28">“එබැවින් දෙවියන්වහන්සේගේ මේ ගැලවීම අන්‍ය-ජාතීන් වෙත ගෙන යනු ලබන වග, දැන ගනිත්වා! ඔවුන් ඊට සවන් දෙනු ඇතැ” යි පැවසී ය.</verse>
				<verse number="29">පාවුල් එසේ කී පසු යුදෙව්වෝ තම තමන් අතර උණුසුම්ව වාද කරමින් ඉවත්ව ගියහ.</verse>
				<verse number="30">ඊළඟ දෙවසර පාවුල් වාසය කළේ, ඔහුගේම වියදමින් කුලියට ගත් නිවසක ය. තමන් හමුවීමට එහි පැමිණි සැවොම සාදරයෙන් පිළිගත් ඔහු,</verse>
				<verse number="31">කිසිදු බාධාවකින් තොරව, එඩිතරව, දෙවියන්වහන්සේගේ රාජ්‍යය දේශනා කරමින්, යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ පිළිබඳව ඉගැන්වී ය.</verse>
			</chapter>
		</book>
		<book number="45">
			<chapter number="1">
				<verse number="1">ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයකු වූ, අපෝස්තුලුවරයකු වීමට කැඳවීම ලැබූ, දෙවියන්වහන්සේගේ ශුභාරංචියට වෙන් කරන ලද පාවුල් වෙතිනි.</verse>
				<verse number="2">කල් ඇතිව උන්වහන්සේ තම දිවැසිවරුන් මඟින් ශුද්ධ ලියවිලි තුළින් පොරොන්දු වූ මෙම ශුභාරංචිය,</verse>
				<verse number="3">උන්වහන්සේගේ පුත්‍රයාණන් පිළිබඳව ය. මාංසාකාරයෙන් දාවිත්ගෙන් පැවත ආ මෙතුමාණෝ,</verse>
				<verse number="4">ශුද්ධත්වයේ ආත්මයාණන් මඟින්, මළවුන්ගෙන් නැගිටීම තුළින්, දේව පුත්‍රයාණන් බවට බලයෙන් යුක්තව ප්‍රකාශ කරනු ලැබූ යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ ය.</verse>
				<verse number="5">උන්වහන්සේ තුළින් අනුග්‍රහයත්, අපෝස්තලික තනතුරත් අප ලබා ඇත්තේ, සියලු ජාතීන් අතරෙහි උන්වහන්සේගේ නාමය උදෙසා ඇදහිල්ලේ කීකරුකමට පැමිණවීම පිණිස ය.</verse>
				<verse number="6">යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එම කැඳවීම ලද්දවුන්ට ඔබත් ඇතුළත් ය.</verse>
				<verse number="7">දෙවියන්වහන්සේ විසින් ප්‍රේම කරනු ලබන, ශුද්ධවන්තයින් වීමට කැඳවීම ලැබූ, රෝමයේ වෙසෙන සියලු දෙනා වෙතයි: අපගේ පියාණන් වූ දෙවියන්වහන්සේගෙන් හා යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගෙන් ඔබට අනුග්‍රහයත්, සාමයත් අත් වේවා!</verse>
				<verse number="8">පළමු කොට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මඟින් ඔබ හැම ගැන මාගේ දෙවියන්වහන්සේට මා ස්තුති කරන්නේ, ඔබගේ ඇදහිල්ල මුළු ලෝකයේම ප්‍රසිද්ධව ඇති බැවිනි.</verse>
				<verse number="9">මා නොකඩව ඔබ සිහි කරන වගට මාගේ සාක්ෂිය, උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ශුභාරංචිය තුළ මාගේ ආත්මයෙන් මා සේවය කරන දෙවියන්වහන්සේ ය.</verse>
				<verse number="10">හැම විට මාගේ යාච්ඤාවලදී මා ඉල්ලා සිටින්නේ, දෙවියන්වහන්සේගේ කැමැත්තෙන් ඔබ හමුවට ඒම දැන්වත් සඵල වන ලෙසට ය.</verse>
				<verse number="11">මා ඔබ දැකීමේ ආශාවෙන් පසුවන්නේ, ඔබ ශක්තිමත් කෙරෙන පිණිස, ඔබට යම් ආත්මික ත්‍යාගයක් දීමටයි.</verse>
				<verse number="12">එනම් ඔබේත්, මගේත් අප එකිනෙකාගේ ඇදහිල්ලෙන් අන්‍යෝන්‍ය වශයෙන් අප ධෛර්යවත් වන පිණිස ය.</verse>
				<verse number="13">සහෝදරයිනි, අන් ජාතීන් අතරේ මා ලැබූ ලෙස, ඔබ අතරදී ද යම් අස්වැන්නක් ලබන්නට, ඔබ වෙත එන්නට මා කීප විටක් සැලසුම් කළ නමුදු, මේ වන තෙක්ම එය වළක්වනු ලැබූ වග ඔබ දැන ගන්නවාට කැමතියි.</verse>
				<verse number="14">ග්‍රීකයින්ට හා ග්‍රීක නො වන අන්‍යයන්ට ද උගතුන්ට හා නූගතුන්ට ද වගකීමක මම බැඳී සිටිමි.</verse>
				<verse number="15">රෝමවාසී ඔබට ද ශුභාරංචිය දේශනා කරන්නට මා පුල පුලා බලා සිටින්නේ එබැවිනි.</verse>
				<verse number="16">මන්ද ශුභාරංචිය ගැන මා ලජ්ජා වන්නේ නැත. මන්ද පළමු කොට යුදෙව්වාට ද එසේම ග්‍රීකයාට ද යන අදහන්නා වූ සියල්ලන්ට ගැලවීම සඳහා දෙවියන්වහන්සේගේ බලය එය බැවිනි.</verse>
				<verse number="17">එය තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, පටන්ගැන්මේ සිට අවසානය දක්වා ඇදහීමෙන් වන ආකාරයට එළිදරවු කරනු ලැබ ඇත්තේ, “ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වේ යැ” යි ලියා තිබෙන පරිදි ය.</verse>
				<verse number="18">තම අධර්මිෂ්ඨකම්වලින් සත්‍යය යටපත් කරන මිනිසුන්ගේ සියලු අභක්තියට හා අධර්මිෂ්ඨකම්වලට එරෙහිව දෙවියන්වහන්සේගේ උදහස ස්වර්ගයෙන් එළිදරවු වෙමින් තිබේ.</verse>
				<verse number="19">දෙවියන්වහන්සේ ගැන දැනගත හැකි දෑ, ඔවුන් තුළ පැහැදිලිව පෙනෙන්නට තිබේ. මන්ද දෙවියන්වහන්සේ ඔවුන්ට ඒවා ප්‍රකාශ කළ සේක.</verse>
				<verse number="20">මන්ද උන්වහන්සේගේ අදෘශ්‍යමාන ගති-ලක්ෂණ වන උන්වහන්සේගේ සදාතනික බලය හා දිව්‍ය ස්වභාව, ලොව මැවූ තැන් පටන් ඒ මැවිලිවලින්ම වටහා ගත හැකි සේ, සැමට පැහැදිලිව තේරුම් යන බැවින් නිදහසට කියන්න කරුණක් ඔවුනට නැත.</verse>
				<verse number="21">මන්ද ඔවුන් දෙවියන්වහන්සේ දැන දැනත්, දෙවියන්වහන්සේට මෙන් උන්වහන්සේට ගෞරව දැක්වූයේ නැත; උන්වහන්සේට ස්තුති කළේ ද නැත. එබැවින් ඔවුන්ගේ මත වාද වැඩකට නැති වී, ඔවුන්ගේ නිස්සාර හදවත් අඳුරු කරනු ලැබ ඇත.</verse>
				<verse number="22">තමන් පණ්ඩිතයින් යයි ඔවුන් කියා ගත්ත ද, ඔවුහු මෝඩ රැළක් බවට පත්ව,</verse>
				<verse number="23">අජරාමර දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය, දිරා ජරාවට යන මිනිසුන්ගේ, පක්ෂීන්, සිවුපාවුන් හා උරගයින්ගේ ද පිළිරූවලට මාරු කර ගත්හ.</verse>
				<verse number="24">එබැවින් ඔවුන්ගේ හදවත්හි තෘෂ්ණාවල දූෂ්‍යතාවට, එකිනෙකා අතර තමන්ගේම සිරුරු අවමන් කර ගැනීමට, දෙවියන්වහන්සේ ඔවුන් අත්හළ සේක.</verse>
				<verse number="25">මන්ද ඔවුන් දෙවියන්වහන්සේ පිළිබඳ සත්‍යය වෙනුවට මිථ්‍යාවක් මාරු කරගෙන, මැවුම්කරුවාණන්ට වඩා මැවිල්ලට වන්දනා ද මෙහෙවර ද කළ නිසා ය. උන්වහන්සේ සදහට ම ප්‍රශංසනීය ය; ආමෙන්.</verse>
				<verse number="26">දෙවියන්වහන්සේ මේ හේතුව නිසා, නින්දිත ලිංගික ආශාවන්ට ඔවුන් අත්හැරිය සේක. ඔවුන්ගේ ස්ත්‍රීහු ස්වාභාවික සබඳතා, සොබා දහමට පටහැනි සේවනයට මාරු කර ගත්හ.</verse>
				<verse number="27">එපරිදිම පුරුෂයෝ, ස්ත්‍රීන් සමඟ වූ ස්වාභාවික සබඳතා අතහැර, එකිනෙකා සමඟ කාම දාහයෙන් දැවෙන්නට වන්හ. පිරිමි, පිරිමින් සමඟ නිර්ලජ්ජිත ක්‍රියාවල යෙදී, තම දුරාචාරයනට සරිලන දඬුවම තමන් තුළෙහිම ලදහ.</verse>
				<verse number="28">තවද දෙවියන්වහන්සේ තම අවබෝධයෙහි රඳවා ගැනීම වටනේයයි ඔවුන් නො සිතූ බැවින්, නො කළ යුතු දෑ කරන පිණිස, නීච මනසකට දෙවියන්වහන්සේ ඔවුන් අත්හළ සේක.</verse>
				<verse number="29">සියලු ආකාර අධර්මිෂ්ඨකමින්, දුෂ්ටකමින්, තණ්හාවෙන් හා ද්වේෂයෙන් පුරවනු ලැබ සිටින ඔවුහු, ඊර්ෂ්‍යාවෙන්, මිනීමැරීමෙන්, කලහයෙන්, වංචාවෙන් හා ක්‍රෝධයෙන් පිරී සිටිති. ඔවුහු ඕපාදූප පතුරන්නෝ ය;</verse>
				<verse number="30">අවලාද නගන්නෝ ය; දෙවියන්වහන්සේට වෛර කරන්නෝ ය; අහංකාරීහු ය; මාන්නාධිකයෝ ය; පුරසාරම් දොඩන්නෝ ය; දුෂ්ට උගුල් අටවන්නෝ ය; මව් පියන්ට අකීකරුවන්නෝ ය;</verse>
				<verse number="31">ඔවුහු බුද්ධිය නැත්තෝ ය; පොරොන්දු කඩ කරන තැනැත්තෝ ය, සිත්-පිත් නැත්තෝ ය, දයාව නැත්තෝ ය.</verse>
				<verse number="32">මෙබඳු දේ කරන්නෝ මරණයට සුදුස්සෝ ය යනුවෙන් වූ දෙවියන්වහන්සේගේ නියමය දැන දැනත්, ඔවුහු එබඳු දේම කරනවා පමණක් නො ව, එසේ කරන්නන්ට අනුබල ද දෙති.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">එබැවින්, එම්බා මනුෂ්‍යය, අන්‍යයන් විනිශ්චය කරන ඔබ කවරකුටවත්, නිදහසට කරුණු නැත. මන්ද අන්‍යයකුට තීන්දුව දෙන කල, ඔබ තමන්ම වරදකරුවකු ලෙස තීන්දු කරගනී. මන්ද විනිශ්චයකරු වූ ඔබ ද ඒ දේම කරන බැවිනි.</verse>
				<verse number="2">එබඳු දේ කරන්නන්ට දෙවියන්වහන්සේගේ විනිශ්චය පැමිණෙන්නේ සත්‍යයට අනුව බැව් අපි දනිමු.</verse>
				<verse number="3">එම්බා මනුෂ්‍යය, එබඳු දේ කරන්නන් විනිශ්චය කරමින්, ඔබත් එයම කරන කල, දෙවියන්වහන්සේගේ විනිශ්චයෙන් ඔබ ගැලවේයයි ඔබ සිතනවා ද?</verse>
				<verse number="4">නැතහොත්, දෙවියන්වහන්සේගේ කරුණා-අරමුණ, පසුතැවිල්ල වෙත ඔබ යොමු කිරීම බැව් වටහා නො ගෙන, උන්වහන්සේගේ කරුණාවේත්, ක්ෂාන්තියේත්, ඉවසීමේත් පොහොසත්කම සුළු කොට තකනවා ද?</verse>
				<verse number="5">එහෙත් ඔබේ තද මුරණ්ඩු, පසුතැවිලි නො වන හදවත නිසා ඔබ කරන්නේ, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චය එළිදරවු කෙරෙන උදහසේ දවස සඳහා උදහස ගොඩගසා ගැනීමකි.</verse>
				<verse number="6">උන්වහන්සේ එකිනෙකා කළ දේ අනුව පල විපාක දෙනු ඇත.</verse>
				<verse number="7">ඉවසීමෙන් යුතුව යහ වැඩ කරමින් මහිමයත්, ගෞරවයත්, අමරණීයත්වයත් සොයන්නන්ට උන්වහන්සේ සදාතන ජීවනය දෙනු ඇත.</verse>
				<verse number="8">එහෙත් ආත්මාර්ථයෙන් යුතුව, සත්‍යයට කීකරු නො වී, අධර්මිෂ්ඨකමට කීකරු වන්නන්ට උදහසත්, උග්‍ර-කෝපයත් වේ.</verse>
				<verse number="9">නපුර කරන හැම මනුෂ්‍යයකුටම, පළමු කොට යුදෙව්වාට ද එසේම ග්‍රීකයාට ද පීඩා හා විපත් පැමිණේ.</verse>
				<verse number="10">එහෙත් හොඳ වැඩ කරන හැම කෙනකුටම, පළමු කොට යුදෙව්වාට ද එසේම ග්‍රීකයාට ද තේජසත්, ගෞරවයත්, සාමයත් අත් වේ.</verse>
				<verse number="11">මන්ද දෙවියන්වහන්සේ පක්ෂ-බජනයක් දක්වන්නේ නැත.</verse>
				<verse number="12">මන්ද දහම් නීතිය නැතිව පව් කළ සැවොම, දහම් නීතිය නැතිව විනාශ වන්නෝ ය. දහම් නීතිය යටතේ සිට පව් කළ සැවොම, දහම් නීතියෙන් විනිශ්චය කරනු ලබන්නෝ ය.</verse>
				<verse number="13">මන්ද දෙවියන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨයින් වන්නේ දහම් නීතියට සවන් දෙන්නන් නො වේ; ධර්මිෂ්ඨ කරනු ලබන්නේ දහම් නීතිය පිළිපදින්නන් ය.</verse>
				<verse number="14">සැබවින් ම, දහම් නීතිය නැති අන්‍ය-ජාතීන් එහි නියමයන් නිසඟයෙන් පිළිපදින කල, නීතිය ඔවුන් සතුව නො මැති වුවත්, ඔවුන්ම ඔවුන්ට නීතිය වී තිබේ.</verse>
				<verse number="15">ඔවුන්ගේ හෘදය සාක්ෂියේ සාක්ෂි දැරීමෙන් හා තමන්ටම දොස් තබමින් හෝ තමන් නිදොස් කරමින් නැගෙන සිතිවිලි මඟින්, දහම් නීතියේ කටයුතු ඔවුන්ගේ හදවත්හි ලියවී ඇති වග ඔවුහු පෙන්වා දෙති.</verse>
				<verse number="16">මාගේ ශුභාරංචියට අනුව ඒ දවසේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මඟින් දෙවියන්වහන්සේ මිනිසුන්ගේ රහස් විනිශ්චය කරන සේක.</verse>
				<verse number="17">එහෙත් ඔබ යුදෙව්වෙකියි කියා ගනිමින්, දහම් නීතියේ එල්ලී, දෙවියන්වහන්සේ තුළ පාරට්ටු කර ගනිමින්,</verse>
				<verse number="18">දහම් නීතියෙන් ගුරුහරුකම් ලද බැවින්, උන්වහන්සේගේ කැමැත්ත කුමක් ද කියාත්, පිළිගත යුතු වඩා උතුම් දේ කවරේ ද කියාත් ඔබ දනී නම්,</verse>
				<verse number="19">තවද මේ ගැන ඔබට සහතික නම්, එනම් අන්ධයනට ඔබ මඟ පෙන්වන්නෙක් ද අඳුරේ සිටින්නන්ට පහනක් ද</verse>
				<verse number="20">දැනුම් තේරුම් නැති අයට උපදේශකයෙක් ද බාලයනට ගුරුවරයෙක් ද වේ නම්, (මන්ද ඥානයේත්, සත්‍යයේත් මූර්තිය ඔබට ඇත්තේ දහම් නීතිය තුළ ය.)</verse>
				<verse number="21">එහෙම නම්, අනුන්ට උගන්වන ඔබ, ඔබටම උගන්වා ගන්නේ නැති ද? සොරකමට එරෙහිව දේශනා කරමින්, ඔබ සොරකම් කරනවා ද?</verse>
				<verse number="22">කිසිවකුත් පරදාර සේවනයේ ගැලිය යුතු නැතැයි කියන ඔබ පරදාර සේවනයේ යෙදෙනවා ද? පිළිම වන්දනාව පිළිකුල් කරන ඔබ, දේවාල කොල්ලකනවා ද?</verse>
				<verse number="23">දහම් නීතිය ගැන පාරට්ටු කරගන්නා ඔබ, එම නීතිය කඩමින්, දෙවියන්වහන්සේට නිග්‍රහ කරනවා ද?</verse>
				<verse number="24">මන්ද ලියා ඇති පරිදි, “දෙවියන්වහන්සේගේ නාමය අන්‍ය-ජාතීන් අතරේ අපහාසයට ලක්ව තිබෙන්නේ ඔබ නිසා ය.”</verse>
				<verse number="25">දහම් නීතියට ඔබ කීකරු වේ නම්, චර්ම-ඡේදනයෙහි සැබෑවටම වටිනාකමක් ඇත. එහෙත් ඔබ දහම් නීතිය කඩ කරනවා නම්, චර්ම-ඡේදනය ඔබට චර්ම අඡේදනයක් වෙයි.</verse>
				<verse number="26">එහෙම නම්, චර්ම-ඡේදනය නො ලද්දකු දහම් නීතියේ නියෝග පිළිපදිනවා නම්, ඔහුගේ චර්ම අඡේදනය, චර්මඡේදිත සේ නො සැලකේ ද?</verse>
				<verse number="27">මෙසේ, කායිකව චර්මඡේදිත නො වූ නමුදු, දහම් නීතිය පිළිපදින්නා, නීති ලියවිල්ලත්, චර්ම-ඡේදනයත් ඇති, එහෙත් දහම් නීතිය කඩන ඔබ විනිශ්චය කරනු ඇත.</verse>
				<verse number="28">පිටස්තරව පමණක් කිසිවකු යුදෙව්වකු වන්නේ නැත. එසේම, චර්ම-ඡේදනය ද පිටස්තර වූ ශාරීරික වූ එකක් පමණක් නො වේ.</verse>
				<verse number="29">යුදෙව්වා, යුදෙව්වකු වන්නේ ඇතුළාන්තයෙනි; චර්ම-ඡේදනය, ආත්මයාණන් මඟින් හදවතේ කෙරෙන ඡේදනයක් මිස, වචනාර්ථයට අනුව කැපුමක් නො වේ. එබඳු තැනැත්තාගේ පැසසුම මිනිසුන්ගෙන් නො ව, දෙවියන්වහන්සේගෙනි.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">එසේ නම් යුදෙව්වකු වීමේ වාසිය කුමක් ද? චර්ම-ඡේදනයේ ඇති වටිනාකම කුමක් ද?</verse>
				<verse number="2">හැම අතින්ම බොහෝ ය. මුලින්ම, දෙවියන්වහන්සේගේ කියමන් බාර දෙනු ලැබ ඇත්තේ, යුදෙව්වන්ට ය.</verse>
				<verse number="3">ඇතමකු අවිශ්වාසවන්ත වූවා නම් කිමෙක් ද? ඔවුන්ගේ විශ්වාසය නොමැතිකමින් දෙවියන්වහන්සේගේ විශ්වාසී භාවය අහෝසි වේ ද?</verse>
				<verse number="4">කොහොමටවත් නැත! ලියා ඇති පරිදි හැම කෙනකුම බොරුකරුවකු වුවත්, දෙවියන්වහන්සේ සත්‍යවාදී වග පෙනේවා: “ඔබ පවසන වදනින්, ඔබේ දමිටුකම ප්‍රකාශ වේ. ඔබ විනිශ්චය කරනු ලබන කල, ජය ඔබට අත් වේ.”</verse>
				<verse number="5">අපගේ අධර්මිෂ්ඨකම මඟින් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රදර්ශන කෙරේ නම්, අපට කිව හැක්කේ කුමක් ද? (මානව තර්කයෙන් කිවහොත්) උදහසේ දඬුවම පැමිණවීමට දෙවියන්වහන්සේ අසාධාරණ ද?</verse>
				<verse number="6">කොහෙත්ම නැත. එසේ වුවහොත්, දෙවියන්වහන්සේ ලෝකය විනිශ්චය කරන්නේ කෙසේ ද?</verse>
				<verse number="7">මාගේ අසත්‍ය තුළින් දෙවියන්වහන්සේගේ සත්‍යය, වඩා ඉස්මතු වී, එය උන්වහන්සේගේ තේජෝමහිමයට හේතු වේ නම්, මා පව්කරුවෙකැයි තවමත් තීන්දු කරන්නේ මන්ද?</verse>
				<verse number="8">එසේ කීම, “යහපත පැමිණෙන පිණිස නපුර කරමු” යි කීම වැනි ය. (අප එසේ කියතැයි සමහරු අප ගැන අපහාසාත්මක කතා පතුරුවා තිබේ.) ඔවුන්ගේ දඬුවම සාධාරණ ය.</verse>
				<verse number="9">එසේ නම් කුමක් ද? යුදෙව් අපට වාසියක් වේ ද? නැත; කොහෙත්ම නැත. සියලු යුදෙව්වන් සේ ම, ග්‍රීකයින් ද යන දෙගොල්ලම පාපය යටතේ බැව් දැනටමත් අප ඔබට පෙන්වා දී තිබේ.</verse>
				<verse number="10">ඒ ගැන ලියා තිබෙන ලෙස, “ධර්මිෂ්ඨ කෙනෙක් නැත; එක් කෙනකුවත් නැත.</verse>
				<verse number="11">වටහා ගන්නා කෙනෙක් නැත. දෙවියන්වහන්සේ සොයන කෙනෙක් නැත.</verse>
				<verse number="12">සැවොම ඉවත හැරී, ඔවුන් එක්ව නිෂ්ඵල බවට පත්ව ඇත; හොඳක් කරන කෙනෙක් නැත; එක් කෙනකුවත් නැත.”</verse>
				<verse number="13">“ඔවුන්ගේ උගුරු, කට ඇරගත් මිනීවළකි. රැවටීමට ඔවුහු තම දිව් යොදා ගනිති.” “ඔවුන්ගේ තොල් යට පොළොං විස ය.”</verse>
				<verse number="14">“ඔවුන්ගේ මුව, ශාපවලින් හා තික්තකමින් පිරිලා ය.”</verse>
				<verse number="15">“ඔවුන්ගේ පා, ලේ හැලුමට යුහු යුහුව යයි;</verse>
				<verse number="16">ඔවුන්ගේ මාවත්වල ඇත්තේ විනාශය හා විපත්තියයි;</verse>
				<verse number="17">සාමයේ මාර්ගය ඔවුන් දන්නේ නැත.”</verse>
				<verse number="18">“ඔවුන්ගේ ඇස් හමුවේ දෙවියන්වහන්සේට බයක් නැත.”</verse>
				<verse number="19">දැන් අප දන්නා පරිදි, හැම කටක්ම වහන පිණිස හා මුළු ලෝකයම දෙවියන්වහන්සේට ගණන් දිය යුතු වන පිණිස, දහම් නීතියේ යම් දෙයක් කියයි ද ඒ දෑ කියන්නේ, ඒ නීතිය යටතේ සිටින්නන්ට ය.</verse>
				<verse number="20">මන්ද දහම් නීතියේ ක්‍රියා මඟින් කිසි මිනිසකු උන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ කරනු ලබන්නේ නැත. දහම් නීතිය මඟින් කෙරෙන්නේ පාප අවබෝධය ගෙන ඒම ය.</verse>
				<verse number="21">එහෙත් දැන් දහම් නීතියෙන් තොරව දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම එළිදරවු කර තිබේ. දහම් නීතිය හා දිවැසිවරුන් ඊට සාක්ෂි දරන නමුදු,</verse>
				<verse number="22">දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහීම මඟින් අදහා ගන්නා සියල්ලන්ට ය. කිසි විශේෂත්වයක් නැත.</verse>
				<verse number="23">මන්ද සියල්ලෝම පව් කොට, දෙවියන්වහන්සේගේ මහිමයෙන් පිරිහී සිටිති,</verse>
				<verse number="24">දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ ත්‍යාගයක් වශයෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇති මිදීම මඟින් ධර්මිෂ්ඨ කරනු ලබති.</verse>
				<verse number="25">උන්වහන්සේගේ ලේ තුළ ඇදහීම මඟින්, පාප වන්දි නිවාරණය ලබා ගැනීමට සලසා දුන්නේ දෙවියන්වහන්සේ ය. එසේ කර ඇත්තේ, තමන්වහන්සේගේ දිව්‍ය ඉවසිලිවත්කම හේතු කොට, පෙර කල්හි කළ පාප නො සලකා හැරීමෙන්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වීමට ය.</verse>
				<verse number="26">තවද එසේ කර ඇත්තේ, තමන්වහන්සේ සාධාරණ වන හැටියට හා යේසුස්වහන්සේ තුළ අදහාගන්නන් නිර්දෝෂකරන්නා වන හැටියට මේ වත්මනේ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වීමට ය.</verse>
				<verse number="27">එසේ නම් අපගේ පුරසාරම කොහේ ද? එය ඉවත් කරනු ලැබ ඇත. ඒ කවර නීතියකින් ද? ක්‍රියාවල නීතියකින් ද? නැත! ඇදහිල්ලේ නීතියෙනි.</verse>
				<verse number="28">මන්ද අපේ පිළිගැනීම නම්, කෙනකු ධර්මිෂ්ඨ කරනු ලබන්නේ, දහම් නීති ක්‍රියාවලින් තොරව, ඇදහිල්ල මඟින් බවයි.</verse>
				<verse number="29">දෙවියන්වහන්සේ යුදෙව්වන්ගේ පමණක් දෙවියන්වහන්සේ ද? උන්වහන්සේ අන්‍ය-ජාතිකයින්ගේත් දෙවියන්වහන්සේ නො වන සේක් ද? සත්තකින්ම අන්‍ය-ජාතීන්ගේත් ය.</verse>
				<verse number="30">දෙවියන්වහන්සේ එකම තැනැත්තාණන් කෙනෙක් වන සේක. උන්වහන්සේ චර්ම-ඡේදිතයන් ඇදහිල්ල මඟින් ද චර්ම-අඡේදිතයන් ඇදහිල්ල තුළින් ද ධර්මිෂ්ඨ කරන සේක.</verse>
				<verse number="31">එසේ නම්, අපි මෙම ඇදහිල්ල මඟින් දහම් නීතිය අවලංගු කරන්නෙමු ද? කොහෙත්ම නැත! සැබවින් ම අපි එය තහවුරු කරන්නෙමු.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">එසේ නම්, මාංසාකාරයෙන් අපගේ ආදි පිය වූ ආබ්‍රහම් කුමක් ලබා ගත්තේ යයි කිව හැකි ද?</verse>
				<verse number="2">මන්ද ආබ්‍රහම් ධර්මිෂ්ඨ කරන ලද්දේ ක්‍රියා මඟින් නම් පාරට්ටු කර ගැනීමට හේතුවක් ඔහුට තිබිණ. එහෙත් දෙවියන්වහන්සේ ඉදිරියේ නො වේ.</verse>
				<verse number="3">ශුද්ධ ලියවිල්ල කුමක් පවසයි ද? “ආබ්‍රහම් දෙවියන්වහන්සේ විශ්වාස කළේ ය; එය ඔහුට ධර්මිෂ්ඨකම වශයෙන් ගණන් ගනු ලැබී ය” යනුවෙනි.</verse>
				<verse number="4">ඉදින් වැඩක් කිරීමෙන් කෙනකු ලබන වැටුප, ඔහුට හිමි ගාස්තුව වශයෙන් විනා, තෑග්ගක් ලෙස සලකනු නො ලැබේ.</verse>
				<verse number="5">එහෙත් වැඩක් නො කරන නමුදු, අභක්තිකයකු නිර්දෝෂ කරන තැනැන්වහන්සේ කෙරේ විශ්වාසය තබන්නාගේ ඇදහිල්ල, ඔහුට ධර්මිෂ්ඨකම වශයෙන් ගණන් ගනු ලැබේ.</verse>
				<verse number="6">ක්‍රියාවලින් තොරව, දෙවියන්වහන්සේ විසින් ධර්මිෂ්ඨයෙකැයි සලකනු ලැබූ මිනිසාගේ භාග්‍යවත්කම ගැන සඳහන් කරමින්, දාවිත් ද එයම පවසයි.</verse>
				<verse number="7">“තමන්ගේ නොපනත්කම්වලට කමාව ලැබූවෝ ද තමන්ගේ පාප වසා දමනු ලැබූවෝ ද භාග්‍යවත් ය.</verse>
				<verse number="8">ස්වාමින්වහන්සේ යමකුගේ පාප, ඔහුට එරෙහිව ගණන් නො ගන්නා සේක් ද, ඒ තැනැත්තා භාග්‍යවත් ය.”</verse>
				<verse number="9">මෙම භාග්‍යය චර්මඡේදිතයින්ට පමණක් ද? නැතහොත් චර්මඡේද නො වූවන්ටත් ද? අප කියන්නේ, ආබ්‍රහම්ට ධර්මිෂ්ඨකම වශයෙන් ගණන් ගනු ලැබුවේ ඇදහිල්ල බවයි.</verse>
				<verse number="10">ඔහුට අදාළව එසේ ගණන් ගනු ලැබුවේ කෙසේ ද? ඒ ඔහු චර්මඡේද වන්නට කලින් ද? ඊට පසුව ද? එසේ වූයේ ඔහු චර්මඡේද වූවාට පසුව නො වේ; ඊට කලින් ය.</verse>
				<verse number="11">ඔහු චර්මඡේද ලකුණ ලද්දේ, ඔහු තවමත් චර්මඡේද නො වී සිටියදී, ඇදහිල්ල මඟින් ලද ධර්මිෂ්ඨකමේ මුද්‍රාවක් වශයෙනි. එහි අරමුණ, චර්මඡේද වීමෙන් තොරව, විශ්වාස කරන සියල්ලන් ධර්මිෂ්ඨයින් වශයෙන් ගණන් ගැනෙන පිණිස, ඔහු ඔවුන්ගේ පියාණන් බවට පත් වීමටත්,</verse>
				<verse number="12">චර්මඡේද වීමෙන් පමණක් නො ව, චර්මඡේද වන්නට පෙර අපගේ පිය වූ ආබ්‍රහම්ගේ ඇදහිල්ලේ පියමං ඔස්සේ ගමන් කරන චර්මඡේදිතයින්ගේ ද පියාණන් බවට ඔහු පත් වීමටත් ය.</verse>
				<verse number="13">මන්ද ආබ්‍රහම්ටත්, ඔහුගේ පෙළපතටත් ලෝකය උරුම වන්නේ ය යන පොරොන්දුව ඔහු ලද්දේ, දහම් නීතිය මඟින් නො ව, ඇදහිල්ල කරණකොටගෙන පැමිණෙන ධර්මිෂ්ඨකම මඟිනි.</verse>
				<verse number="14">මන්ද උරුමකරුවන් වන්නේ, දහම් නීතියේ පිහිටා සිටින්නවුන් නම්, ඇදහිල්ල නිෂ්ඵල ය; පොරොන්දුව හිස් ය.</verse>
				<verse number="15">මන්ද දහම් නීතිය උදහස ගෙන එයි. නීතියක් නැති තැන, නීති කැඩීමක් ද නැත.</verse>
				<verse number="16">පොරොන්දුව ඇදහිල්ල මත රඳා පවත්නේ එබැවිනි; එසේ වන්නේ, එය අනුග්‍රහයෙන් පිහිටන පිණිසත්, ඔහුගේ මුළු පෙළපතට එය ඇපයක් වන පිණිසත් ය. ඒ පෙළපත දහම් නීතියට බැඳුණවුන්ගේ පමණක් නො වේ; ආබ්‍රහම්ගේ ඇදහිල්ලට පංගුකාර වූ අයගේත් ය; අප හැමගේ පියා ආබ්‍රහම් ය.</verse>
				<verse number="17">ඒ, “මම බොහෝ ජාතීන්ට ඔබ පියාණන් කළෙමි” යි ලියා ඇති පරිදි, ආබ්‍රහම් තමා විශ්වාසය තැබූ දෙවියන්වහන්සේ ඉදිරියේ ය; උන්වහන්සේ මළවුන්ට ජීවනය දෙන, නැති දේ ඇති දේ වන්නට අණ කරන තැනැන්වහන්සේ ය.</verse>
				<verse number="18">“ඔබේ පෙළපත එසේ වන්නේ යැ” යි ඔහුට පවසා තිබූ ලෙස තමා බොහෝ ජාතීනට පියා වෙතැයි ඔහු බලාපොරොත්තුවෙන් විශ්වාස කළේ බලාපොරොත්තු තබන්නට ඉඩ නැති තැන ය.</verse>
				<verse number="19">අවුරුදු සියයක් වයස් ගතව, තම ශරීරය මැරී ගිය එකක් වැනියයි කල්පනා වුව ද, සාරාගේ ගර්භය වඳ වග කල්පනා වුව ද, ඔහු ඇදහිල්ලේ දුර්වල වූයේ නැත.</verse>
				<verse number="20">දෙවියන්වහන්සේගේ පොරොන්දුව ගැන අවිශ්වාසයකින්, ඔහු තමා තුළ දෙගිඩියාවක් ඇති කර නො ගෙන, තම ඇදහිල්ලෙහි බලවත් වෙමින්, දෙවියන්වහන්සේට මහිමය දුන්නේ,</verse>
				<verse number="21">පොරොන්දු වූ දේ ඉටු කරන්නට උන්වහන්සේට පුළුවනැයි සහතිකයෙන්ම ඒත්තු ගැනීමෙනි.</verse>
				<verse number="22">ඔහුගේ ඇදහිල්ල, ඔහුට ධර්මිෂ්ඨකම ලෙසින් ගණන් ගනු ලැබුවේ එබැවිනි.</verse>
				<verse number="23">“ඔහුට එය ගණන් ගනු ලැබී ය” යන වචන ලියනු ලැබ ඇත්තේ, ඔහු උදෙසා පමණක්ම නො වේ;</verse>
				<verse number="24">අප උදෙසාත් ය. යේසුස් අප ස්වාමින්වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ තැනැන්වහන්සේ තුළ විශ්වාස කරන අප උදෙසා ද එසේ ගණන් ගනු ලබන්නේ ය.</verse>
				<verse number="25">උන්වහන්සේ පාවා දෙනු ලැබුවේ, අපගේ පාප උදෙසා ය; නැගිටුවනු ලැබුවේ අප නිර්දෝෂ කොට ගණන් ගැනීම සඳහා ය.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">එබැවින් ඇදහිල්ල මඟින් ධර්මිෂ්ඨ කරනු ලැබ ඇති බැවින්, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මඟින් අපට දෙවියන්වහන්සේ හා සමඟ සාමය ඇත්තේ ය.</verse>
				<verse number="2">දැන් අප සිටගෙන සිටින මෙම අනුග්‍රහයට අප ඇතුළුව සිටින්නේ, උන්වහන්සේ මඟින් ඇදහිල්ලෙනි; එබැවින් දෙවියන්වහන්සේගේ තේජසේ බලාපොරොත්තුව තුළ අපි ප්‍රමෝද වන්නෙමු.</verse>
				<verse number="3">ඊටත් වැඩියෙන් අපගේ පීඩා විඳීම්වලදීත් අපි ප්‍රමෝද වන්නෙමු. මන්ද විඳවීමෙන් ඉවසීම ද</verse>
				<verse number="4">ඉවසීමෙන් චරිතය ද චරිතයෙන් බලාපොරොත්තුව ද උපදින බව දනිමු.</verse>
				<verse number="5">බලාපොරොත්තුව අප ලජ්ජාවට පත් කරන්නේ නැත. මන්ද අපට දෙන ලද ශුද්ධාත්මයාණන් මඟින් දෙවියන්වහන්සේ ස්වකීය ප්‍රේමය අප හදවත් තුළට වගුරුවා ඇති හෙයිනි.</verse>
				<verse number="6">අප බෙලහීනව සිටියදී, නිසි කල්හි ක්‍රිස්තුස්වහන්සේ අධාර්මිකයින් උදෙසා මැරුණු සේක.</verse>
				<verse number="7">දැහැමි මිනිසකු උදෙසා වුව මැරෙන්නට කෙනකු හමුවන්නේ කලාතුරකිනි. ඇතැම් විට, සද්ගුණවත් කෙනකු උදෙසා මැරෙන්නට කෙනකු ධෛර්යවත් වනු ඇත.</verse>
				<verse number="8">එහෙත් දෙවියන්වහන්සේ අප උදෙසා ස්වකීය ප්‍රේමය පෙන්වන්නේ, අප තවමත් පව්කරුවන්ව සිටියදී, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා මරණය විඳීමෙන් ය.</verse>
				<verse number="9">එබැවින් ක්‍රිස්තුස්වහන්සේගේ ලෙයින්, දැන් අප නිර්දෝෂ කරනු ලැබ ඇති බැවින්, උන්වහන්සේ මඟින් ඊට කොතරම් වැඩියෙන් දෙවියන්වහන්සේගේ උදහසින් අපි ගලවනු නො ලබන්නෙමු ද!</verse>
				<verse number="10">අප සතුරන්ව සිටියදීත් ස්වකීය පුත්‍රයාණන්ගේ මරණය හේතු කොට, දෙවියන්වහන්සේ සමඟ අප සමඟි කරනු ලැබුවා නම්, එසේ සමඟි කරනු ලැබූ අපි, උන්වහන්සේගේ ජීවනය හේතු කොට ඊට කොතරම් වැඩියෙන් ගලවනු නො ලබන්නෙමු ද!</verse>
				<verse number="11">එපමණක් නො වේ; එම සමඟියට අප පත් කළ යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මඟින් දෙවියන්වහන්සේ තුළ අපි ප්‍රමෝද වන්නෙමු.</verse>
				<verse number="12">එබැවින් එක් මිනිසකු මඟින් පාපය ද පාපය මඟින් මරණය ද ලොවට පිවිස, සියල්ලන්ම පව් කළ බැවින්, මුළු මිනිස් වර්ගයා වෙතම මරණය පැමිණියේ ය.</verse>
				<verse number="13">මන්ද සැබවින් ම දහම් නීතිය දීමට පෙර සිටම, පාපය ලොවෙහි තිබිණි. එහෙත් නීතිය නැති තැන පාපය ගණන් නො ගැනිණි.</verse>
				<verse number="14">එහෙත්, ආදම් පටන් මෝසෙස් දක්වා, ආදම්ගේ වැනි අයුතුකමින් පව් නො කළ අය කෙරේ පවා, මරණය රජකම් කළේ ය. ඔහු ලොවට එන්නට සිටි තැනැත්තාණන්ගේ පූර්ව ආදර්ශයක් විය.</verse>
				<verse number="15">එහෙත් තිළිණ දීමනාව, අයුතුකම වගේ නො වේ. මන්ද එක මිනිසාගේ අයුතුකම හේතු කොට බොහෝ දෙනෙක් මිය ගියාහු නම්, දෙවියන්වහන්සේගේ අනුග්‍රහයත්, මේ එක මිනිසා වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහයේ තිළිණ දීමනාවත් බොහෝ දෙනකුට ඊට වඩා කොපමණ වැඩියෙන් අධික නො වන්නේ ද!</verse>
				<verse number="16">තවද තිළිණ දීමනාව, ඒ එක මිනිසාගේ පාපයේ විපාකය වගේ නො වේ. මන්ද එක අයුතුකම පසුපස ආ විනිශ්චය, දඬුවම ගෙනාවේ ය. එහෙත් බොහෝ වූ අයුතුකම් පසුපස ආ තිළිණ දීමනාව නිර්දෝෂීත්වය රැගෙන ආවේ ය.</verse>
				<verse number="17">ඒ එක මිනිසාගේ අයුතුකම නිසා, ඒ එක මිනිසා මඟින් මරණය රජකම් කළේ නම්, අනුග්‍රහයේ බහුලත්වයත්, ධර්මිෂ්ඨකමේ තිළිණ දීමනාවත් ලැබූ අය, මේ එක මිනිසා වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් ඊට වඩා කොතරම් වැඩියෙන් ජීවනයේ රජකම් නො කරන්නේ ද?</verse>
				<verse number="18">එබැවින් එක අයුතුකමක් සියලු මිනිසුන්ට දඬුවම සැලසුවා සේ ම, ධර්මිෂ්ඨත්වයේ එක් ක්‍රියාවක් සියලු මිනිසුන්ට නිර්දෝෂීත්වයත්, ජීවනයත් සලසන්නේ ය.</verse>
				<verse number="19">මන්ද ඒ එක මිනිසාගේ අකීකරුකම, බොහෝ දෙනා පව්කරුවන් කළා සේ ම, මේ එක මිනිසාගේ කීකරුකම බොහෝ දෙනා ධර්මිෂ්ඨයින් කරන්නේ ය.</verse>
				<verse number="20">දහම් නීතිය පැමිණියේ අයුතුකම් වැඩි කිරීමට ය. එහෙත්, පාප වැඩිවන්නේ කොතැන ද, එතැන අනුග්‍රහය අතිශයින් බහුල වන්නේ ය.</verse>
				<verse number="21">එසේ වන්නේ පාපය තුළ මරණය රජකම් කළා සේ ම, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මඟින් සදාතන ජීවනය දක්වා ධර්මිෂ්ඨකම මඟින් අනුග්‍රහය ද රජකම් කරන පිණිස ය.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">එසේ නම් කුමක් කියන්නෙමු ද? අනුග්‍රහය බහුල වන පිණිස, අප දිගටම පවෙහි ගැලෙනවා ද?</verse>
				<verse number="2">කොහෙත්ම නැත! පාපයට මැරුණ අප, තවදුරටත් එහි ජීවත් වන්නේ කෙසේ ද?</verse>
				<verse number="3">ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළට බව්තීස්ම කරනු ලැබූ අප සැවොම, උන්වහන්සේගේ මරණයට බව්තීස්ම කරනු ලැබ ඇති වග ඔබ දන්නේ නැති ද?</verse>
				<verse number="4">එබැවින් අපි උන්වහන්සේ සමඟ බව්තීස්මය මඟින් මරණයට පත්ව, වළලනු ලැබීමු. එසේ වූයේ පියාණන්වහන්සේගේ තේජෝ බලයෙන් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවනු ලැබූ සේ ම, අපත් ජීවිතය අලුත්කමකින් ගත කරන පිණිස ය.</verse>
				<verse number="5">උන්වහන්සේගේ මරණයෙන් මෙලෙස අප උන්වහන්සේ සමඟ එක් කරනු ලැබුවා නම්, නිසැකයෙන්ම උන්වහන්සේගේ මරණින් නැගිටීමෙන් ද අපි උන්වහන්සේ සමඟ එක් කරනු ලබන්නෙමු.</verse>
				<verse number="6">තවදුරටත් පාපයේ වහල් බවට පත් නො වන්නට, පාපයේ ශරීරය නැති වන පිණිස, අපගේ පැරණි මනුෂ්‍යයා, උන්වහන්සේ සමඟ කුරුසිපත් කරන ලද බැව් අපි දනිමු.</verse>
				<verse number="7">මන්ද මළ තැනැත්තා පාපයෙන් නිදහස් කරනු ලැබ ඇත.</verse>
				<verse number="8">ක්‍රිස්තුස්වහන්සේ සමඟ අපි මැරුණෙමු නම්, උන්වහන්සේ සමඟ අප ද ජීවත් වන වග, අපි විශ්වාස කරන්නෙමු.</verse>
				<verse number="9">ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවනු ලැබ සිටින බැවින්, කිසි කල යළි මැරෙන්නේ නැති වග අපි දනිමු. මරණයට තවදුරටත් උන්වහන්සේ කෙරේ බලයක් නැත.</verse>
				<verse number="10">උන්වහන්සේ මැරුණ මරණයෙන්, උන්වහන්සේ එකම වරක් පාපයට මළ සේක; එහෙත් උන්වහන්සේ ජීවත් වන ජීවිතයෙන්, දෙවියන්වහන්සේට ජීවත් වන සේක.</verse>
				<verse number="11">එලෙසම ඔබත්, පාපයට මැරී, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේට ජීවත්වන්නන් වග කල්පනාවට ගන්න.</verse>
				<verse number="12">එබැවින් පාපී ආශාවනට ඔබ අවනත නො වන පිණිස මැරෙන සුළු වූ ඔබේ සිරුර තුළ රජකම් කිරීමට පාපයට ඉඩ නො දෙන්න.</verse>
				<verse number="13">ඔබගේ අවයව දුෂ්ටකමට උපකරණ සේ යෙදවීමට, පාපයේ කැමැත්තට බාර නො දී, මරණයෙන් ජීවනයට පැමිණියකු සේ ඔබ දෙවියන්වහන්සේට බාර වී, ඔබේ අවයව ධර්මිෂ්ඨකමට උපකරණ සේ දෙවියන්වහන්සේට බාර දෙන්න.</verse>
				<verse number="14">මන්ද ඔබ දහම් නීතිය යටතේ නො ව, අනුග්‍රහය යටතේ සිටින බැවින්, පාපයට ඔබ කෙරේ ස්වාමිකත්වයක් නැත.</verse>
				<verse number="15">එසේ නම් කිමෙක් ද? අප දහම් නීතිය යටතේ නො ව, අනුග්‍රහය යටතේ වන බැවින් පවෙහි ගැලෙමු ද? කොහෙත්ම නැත!</verse>
				<verse number="16">යමකුට වහලුන් සේ අවනත වීමට ඔබ ඉදිරිපත් වේ නම්, එය මරණයට ගෙන යන පාපය හෝ ධර්මිෂ්ඨකමට ගෙන යන කීකරුකමට හෝ එසේ අවනත වන දේට, ඔබ වහලකු වන බව දන්නේ නැති ද?</verse>
				<verse number="17">එහෙත් දෙවියන්වහන්සේට ස්තුති වේවා, කලක් පාපයේ වහලුන්ව සිටි ඔබ, දැන් ඔබට බාර දෙන ලද ඉගැන්වීම් පිළිවෙතට හදවතින්ම අවනතව,</verse>
				<verse number="18">පාපයෙන් නිදහස් කරනු ලැබ, ධර්මිෂ්ඨකමේ වහලුන් බවට පත්ව සිටිති.</verse>
				<verse number="19">මානව නිදර්ශනවලින් මා ඔබට කතා කරන්නේ, ඔබගේ ස්වාභාවික දුර්වලතා නිසා ය. මන්ද කලක් ඔබ ඔබගේ අවයව අපවිත්‍රතාවේ වහල්කමටත්, වඩ වඩා නොපනත්කමට දිවෙන නොපනත්කමටත් වහලුන් සේ බාර දී තිබූ සේ, දැන් ඔබේ අවයව ශුද්ධවත් භාවයට දිවෙන ධර්මිෂ්ඨකමේ වහලුන් කොට බාර දෙන්න.</verse>
				<verse number="20">පාපයේ වහලුන්ව සිටියදී, ධර්මිෂ්ඨකම සම්බන්ධයෙන් ඔබ සිටියේ නිදහස්ව ය.</verse>
				<verse number="21">ඔබ දැන් ලජ්ජා වන දේවලින් එකල ඔබ ලද්දේ කවර පලයක් ද? ඒවායේ කෙළවර මරණයයි.</verse>
				<verse number="22">එහෙත් දැන් පාපයෙන් නිදහස් කරනු ලැබ, දෙවියන්වහන්සේගේ වහලුන් බවට ඔබ පත්ව ඇත. ඔබට ඉන් ලැබෙන පලය ශුද්ධවත් භාවයයි. එහි කෙළවර සදාතන ජීවනයයි.</verse>
				<verse number="23">මන්ද පාපයේ කුලිය මරණයයි. එහෙත් දෙවියන්වහන්සේගේ තිළිණ දීමනාව, ක්‍රිස්තුස් යේසුස් අප ස්වාමින්වහන්සේ තුළ සදාතන ජීවනයයි.</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">සහෝදරයිනි, මා කතා කරන්නේ නීතිය දන්නා අයට ය; නීතිය කෙනකුට බලපවත්වන්නේ ඔහු ජීවත්ව සිටින තෙක් පමණක් වග ඔබ දන්නේ නැති ද?</verse>
				<verse number="2">එපරිදි විවාහක ස්ත්‍රියක් ඇගේ ස්වාමි පුරුෂයා ජීවත්ව සිටින තුරු, නීතියෙන් ඔහුට බැඳී සිටින්නී ය. එහෙත් ඇගේ ස්වාමි පුරුෂයා මළහොත්, ඔහුට බැඳුණු විවාහ නීතියෙන් ඈ නිදහස් වන්නී ය.</verse>
				<verse number="3">තවද ඇගේ ස්වාමි පුරුෂයා ජීවත්ව සිටියදී, ඇය වෙනත් මිනිසකු හා ජීවත්වුණොත්, ඇය පරදාරිකාවකැයි කියනු ලබයි. එහෙත් ඇගේ ස්වාමි පුරුෂයා මළහොත්, ඔහු හා බැඳි විවාහ බැම්මෙන් ඇය නිදහස් වන බැවින්, ඉන්පසු වෙනත් පුරුෂයකු හා විවාහ වුවත්, ඇය පරදාරිකාවක් වන්නේ නැත.</verse>
				<verse number="4">මා සහෝදරයිනි, එපරිදිම ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය හේතු කොට ඔබත් දහම් නීතියට මැරුණහ; එසේව ඇත්තේ දෙවියන්වහන්සේට අප පල දරන පිණිස, මළවුන්ගෙන් නැගිටුවන ලද කෙනකු වන වෙනත් කෙනකුට ඔබ බැඳී සිටින පිණිස ය.</verse>
				<verse number="5">මාංසයෙහි අප ජීවත් වූ කාලයේ දහම් නීතියෙන් පොලඹවනු ලැබූ අපගේ පාප තෘෂ්ණා, අප ඉඳුරන් තුළ ක්‍රියාත්මක වූයේ, මරණයට පල උපද්දවමිනි.</verse>
				<verse number="6">එහෙත්, අප බැඳ තිබූ බැඳීමට මැරී, දැන් අපි දහම් නීතියෙන් නිදහස්ව සිටින්නෙමු. එසේව ඇත්තේ, ලිඛිත පැරණි නීති මාලාවක් යටතේ නො ව, ආත්මයාණන්ගේ නව ජීවනයක් තුළ සේවය කරන පිණිස ය.</verse>
				<verse number="7">එසේ නම් කුමක් කියමු ද? දහම් නීතිය පාපය ද? කොහෙත්ම නැත! මන්ද දහම් නීතිය නො වන්නට පාපය කුමක්දැයි මා නො දැන සිටින්නට තිබිණි. “තණ්හා නො වනු” යි දහම් නීතියෙන් නො කියැවිණි නම්, තණ්හාව කුමක්දැයි මා නො දැන සිටින්නට තිබිණි.</verse>
				<verse number="8">එහෙත් දහම් නීතිය මඟින් ඉඩ ප්‍රස්ථා අල්ලාගත් පාපය, සියලු ආකාර තණ්හා-ආශා මා තුළ උපැද්ද වීය. දහම් නීතිය නැති තැන, පාපය මළ එකකි.</verse>
				<verse number="9">වරෙක මම දහම් නීතියෙන් තොරව ජීවත්ව සිටියෙමි. එහෙත්, ආඥා පැමිණි කල, පාපය පණ ගැන්විණි; මම මැරුණෙමි.</verse>
				<verse number="10">ජීවනය පොරොන්දු වූ ආඥාවෙන්ම මට මරණය ගෙනාවේ ය.</verse>
				<verse number="11">මන්ද ආඥාව මඟින් ප්‍රස්තාව අල්ලාගත් පාපය, මා රවටා, එමඟින් මා මරා දැමී ය.</verse>
				<verse number="12">එබැවින් දහම් නීතිය ශුද්ධ ය; ආඥාව ශුද්ධ ය; ධර්මිෂ්ඨ ය; යහපත් ය.</verse>
				<verse number="13">එසේ නම්, මට මරණය ගෙනාවේ ඒ යහපත් දේ ද? කොහෙත්ම නැත! පාපය, පාපයම වග පෙන්වීමට හා මනින්නට බැරි තරම් වූ පාපිෂ්ඨත්වය, ආඥාව මඟින් පෙන්වීමට ඒ යහපත් දේ මඟින් මා තුළ මරණය නිපදවූයේ පාපයයි.</verse>
				<verse number="14">මන්ද දහම් නීතිය ආත්මික වග අපි දනිමු. එහෙත් මම, පාපය යටතේ විකුණන ලද මාංසිකයෙක්මි.</verse>
				<verse number="15">මගේම හැසිරීම ගැන මටම නො තේරේ. මන්ද මා කරන්නේ, කරන්නට මට ඕනෑ වූ දේ නො ව, කරන්නට මා අකමැති දේ ය.</verse>
				<verse number="16">මා කරන්නේ, කරන්නට මා අකමැති දේ නම්, දහම් නීතිය යහපත් වගට මම එකඟ වෙමි.</verse>
				<verse number="17">එබැවින් තවදුරටත් එය කරන්නේ මා නො වේ; මා තුළ වෙසෙන පාපයයි.</verse>
				<verse number="18">මන්ද මා තුළ, මාගේ මාංසය තුළ කිසි යහපතක් වෙසෙන්නේ නැති වග මම දනිමි. මන්ද හරි දේ කිරීමේ ආශාව මට ඇතත්, ඒ දේ කිරීමේ හැකියාව මට නැත.</verse>
				<verse number="19">මන්ද මා දිගටම කරන්නේ, මා කරන්නට කැමති යහපත නො ව, කරන්නට අකමැති නපුරයි.</verse>
				<verse number="20">මෙසේ මා කරන්නේ, කරන්නට මා අකමැති දෙයම නම්, තවදුරටත් එසේ කරන්නේ, මා නො ව, මා තුළ වෙසෙන පාපයයි.</verse>
				<verse number="21">මෙසේ, යහපත කරන්නට මට ඕනෑ කරන හැම විට, නපුර අත ළඟම ලැග සිටීමේ නීතියක් ක්‍රියාත්මක බැව් මට පෙනේ.</verse>
				<verse number="22">මන්ද මගේ ඇතුළාන්ත මිනිසාගෙන් මම දෙවියන්වහන්සේගේ දහම් නීතියෙහි ප්‍රමෝද වන්නෙමි.</verse>
				<verse number="23">එහෙත් මගේ මනසේ නීතියට එරෙහිව මගේ ඉන්ද්‍රියයන් තුළ වෙනත් නීතියක් යුද වැද, මගේ ඉන්ද්‍රියයන් තුළ වෙසෙන පාපයේ නීතියට මා වසඟ කරවනු මට පෙනේ.</verse>
				<verse number="24">අහෝ මා වැනි අභාග්‍යවත් මිනිහෙක්! මරණීය වූ මේ සිරුරින් මා මුදාලන්නේ කවුරු ද?</verse>
				<verse number="25">යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මඟින් දෙවියන්වහන්සේට ස්තුති වේවා! මෙසේ මම, මගේ මනසින් සේවය කරන්නේ දෙවියන්වහන්සේගේ දහම් නීතියට ය; එහෙත් මාගේ මාංසයෙන් මා සේවය කරන්නේ පාපයේ නීතියට ය.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">එබැවින් දැන්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නවුන් දඬුවමට පත් කිරීමක් නැත.</verse>
				<verse number="2">මන්ද ජීවනයේ ආත්මයාණන්ගේ නීතිය, පාපයේ හා මරණයේ නීතියෙන්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ, ඔබ නිදහස් කර ඇති බැවිනි.</verse>
				<verse number="3">මාංසයේ දුබලතාව මඟින් දහම් නීතියට කළ නො හැකි වූ දේ, දෙවියන්වහන්සේ කළේ, ස්වකීය පුත්‍රයාණන් පාප මාංසයේ සමානකමින් හා පාපය උදෙසා එවා, මාංසයේ පාපය දඬුවමට පත් කිරීමෙනි.</verse>
				<verse number="4">එසේ කළේ, මාංසයට අනුව නො ව, ආත්මයාණන්ට අනුව දිවි ගෙවන අප තුළ, දහම් නීතියේ දැහැමි නියමයන් ඉටු වන පිණිස ය.</verse>
				<verse number="5">මන්ද මාංසයට අනුව දිවි ගෙවන අය මනස රඳවන්නේ, මාංසික දේ මත ය. ආත්මයාණන්ට අනුව දිවි ගෙවන අය මනස රඳවන්නේ, ආත්මයාණන්ගේ දේ මත ය.</verse>
				<verse number="6">මාංසයේ මනස රැඳවීම මරණයයි. එහෙත් ආත්මයාණන් මත මනස රැඳවීම, ජීවනය හා සාමයයි.</verse>
				<verse number="7">මාංසයේ රැඳවෙන මනස, දෙවියන්වහන්සේට විරුද්ධ ය. මන්ද එය දෙවියන්වහන්සේගේ නීතියට යටත් නැත. ඇත්තෙන්ම යටත් කළ නො හැකි ය.</verse>
				<verse number="8">දෙවියන්වහන්සේ සතුටු කරන්නට මාංසයේ සිටින්නන්ට බැරි ය.</verse>
				<verse number="9">කෙසේ වෙතත්, දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඔබ තුළ වසන සේක් නම්, ඔබ මාංසය තුළ නො ව, ආත්මයාණන් තුළ ය. ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන් නැති කවරකු වුවත්, උන්වහන්සේට අයිති නැත.</verse>
				<verse number="10">එහෙත් ක්‍රිස්තුස්වහන්සේ ඔබ තුළ සිටින සේක් නම්, පාපය නිසා ශරීරය මැරී ඇතත්, ධර්මිෂ්ඨකම නිසා ආත්මය ජීවත් වන්නේ ය.</verse>
				<verse number="11">යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ තැනැන්වහන්සේගේ ආත්මයාණන්, ඔබ තුළ වාසය කරන සේක් නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මරණින් නැගිට වූ තැනැන්වහන්සේ, ඔබ තුළ වෙසෙන ස්වකීය ආත්මයාණන් මඟින්, මැරෙනසුලු ඔබගේ ශරීරයන්ට ද ජීවනය දෙන සේක.</verse>
				<verse number="12">එබැවින් සහෝදරයිනි, අපි ණයකරුවන්ව සිටින්නෙමු; ඒ, මාංසිකව ජීවත් වීමට මාංසයට නො වේ.</verse>
				<verse number="13">මන්ද මාංසයට අනුව ජීවත් වෙතොත් ඔබ මියෙනු ඇත. එහෙත් ශාරීරික ක්‍රියා, ආත්මයාණන් මඟින් නසා දමනවා නම්, ඔබ ජීවත්වනු ඇත.</verse>
				<verse number="14">මන්ද දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මඟපෙන්වනු ලබන සියල්ලෝ, දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ ය.</verse>
				<verse number="15">මන්ද ඔබ ලබා ඇත්තේ, නැවත බයට වහල් වන ආත්මයක් නො වේ. ඔබ ලබා ඇත්තේ පුත්‍රයින් බවට පත් කරන ආත්මයාණන් ය; උන්වහන්සේ මඟින් අපි, “අබ්බා, පියාණෙනි!” කියා හඬ ගසන්නෙමු.</verse>
				<verse number="16">ආත්මයාණන්ම අපගේ ආත්මය සමඟ එක්ව, අප දෙවියන්වහන්සේගේ දරුවන් වගට සාක්ෂි දරන සේක.</verse>
				<verse number="17">දරුවෝ උරුමකරුවෝ ය; දෙවියන්වහන්සේගේ උරුමකරුවෝ ය; ක්‍රිස්තුස්වහන්සේ සමඟ හවුල් උරුමකරුවෝ ය; එසේ වන්නේ, උන්වහන්සේ සමඟ තේජසට පමුණුවනු ලබන පිණිස, උන්වහන්සේ සමඟ දුක් විඳීමට හවුල් වීමෙන් ය.</verse>
				<verse number="18">මේ වත්මනේ අප විඳින දුක් වේදනා, අපට එළිදරවු වන්නට තිබෙන තේජස සමඟ, සසැඳීමටවත් තරම් නො වෙතැයි මට සිතේ.</verse>
				<verse number="19">මන්ද දෙවියන්වහන්සේගේ පුත්‍රයින් එළිදරවු කිරීම දෙස, සමස්ත මැවිල්ලම අපේක්ෂා සහගතව ආශාවෙන් බලා සිටී.</verse>
				<verse number="20">මන්ද මැවිල්ල නිෂ්ඵල භාවයට ඇද දමනු ලැබ ඇත්තේ, එහි කැමැත්තෙන් නො ව, එය බලාපොරොත්තුවෙන් යටත් කළ තැනැත්තාණන් නිසා ය.</verse>
				<verse number="21">එනම්, මැවිල්ල ජරාපත් වීමේ වහල් බැම්මෙන් මුදනු ලැබ, දෙවියන්වහන්සේගේ දරුවන්ගේ තේජවත් නිදහස අත්කර දීමට ය.</verse>
				<verse number="22">මන්ද මුළු මහත් මැවිල්ලම එක්ව මේ දක්වාත් ප්‍රසව වේදනාවෙන් කෙඳිරි ගානා බව අපි දනිමු.</verse>
				<verse number="23">මැවිල්ල පමණක් නො වේ; ආත්මයාණන්ගේ ප්‍රථම පල ලැබූ අපත්, අපගේ ශාරීරික මිදීම වන පුත්‍රකමට පිළිගැනීම පුල පුලා බලා හිඳිමින්, ඇතුළු හදින් කෙඳිරි ගාන්නෙමු.</verse>
				<verse number="24">මන්ද අප ගලවනු ලැබ ඇත්තේ මෙම බලාපොරොත්තුවෙනි. දකින්නට තිබෙන බලාපොරොත්තුව, බලාපොරොත්තුවක් නො වේ. මන්ද තමන්ට පෙනෙන දේ ගැන බලාපොරොත්තු ඇති කරගන්නේ කවුරු ද?</verse>
				<verse number="25">එහෙත් අපට නො පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වන්නේ නම්, ඒ ගැන ඉවසිල්ලෙන් බලා හිඳිමු.</verse>
				<verse number="26">එපරිදි අපේ දුර්වලතාවලදී ආත්මයාණෝ අපට උපකාර කරන සේක. යුතු පරිදි අප යාච්ඤා කළ යුත්තේ කුමක් සඳහාදැයි අප දන්නේ නැත. එහෙත් ආත්මයාණෝම වචනයෙන් කිව නො හැකි කෙඳිරීම් මඟින් අප උදෙසා මැදිහත් වන සේක.</verse>
				<verse number="27">හදවත් සෝදිසි කරන තැනැන්වහන්සේ, ආත්මයාණන්ගේ මනස දන්නා සේක. මන්ද ආත්මයාණන් ශුද්ධවතුන් උදෙසා මැදිහත් වන්නේ, දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව ය.</verse>
				<verse number="28">තවද දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නන්ට, උන්වහන්සේගේ අරමුණට අනුව කැඳවනු ලැබූවන්ට, හැම දෙයක්ම යහපත පිණිස එකට ක්‍රියා කරන වග අපි දනිමු.</verse>
				<verse number="29">මන්ද උන්වහන්සේ පෙර දැනසිටියවුන්, ස්වකීය පුත්‍රයාණන්ගේ ස්වරූපයට සමාන විය යුතු බවට, පෙර නියමයක් කළ සේක; එසේ කළේ, උන්වහන්සේ බොහෝ වූ සහෝදරයන් අතරේ කුලුඳුලාණන් වන පිණිස ය.</verse>
				<verse number="30">එසේ, උන්වහන්සේ පෙර-නියම කළවුන්, උන්වහන්සේ කැඳවූ සේක. උන්වහන්සේ කැඳවා ගත්තවුන්, උන්වහන්සේ ධර්මිෂ්ඨකමට ද පැමිණෙවු සේක. උන්වහන්සේ ධර්මිෂ්ඨකමට පැමිණෙවුවන් උන්වහන්සේ තේජසට ද පත් කළ සේක.</verse>
				<verse number="31">එසේ නම් මේ දෑ ගැන කුමක් කියමු ද? දෙවියන්වහන්සේ අපේ පැත්තට නම්, අපට එරෙහි විය හැක්කේ කවරකුට ද?</verse>
				<verse number="32">ස්වකීය පුත්‍රයාණන් පවා ඉතිරි කර නො ගෙන, අප සියල්ලන් උදෙසා උන්වහන්සේ ද දුන් සේක් නම්, උන්වහන්සේ ද ඇතුළුව හැම දෙයක්ම නො මසුරුව අපට නො දෙන සේක් ද?</verse>
				<verse number="33">දෙවියන්වහන්සේ තෝරාගනු ලැබූවන්ට එරෙහිව චෝදනා කරන්නේ කවුරු ද? නිර්දෝෂ කරන්නේ දෙවියන්වහන්සේ ය.</verse>
				<verse number="34">වරදට පත් කරන්නේ කවුරු ද? මැරුණේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ය; ඊටත් වඩා නැගිටුවනු ලැබුවේත්, දෙවියන්වහන්සේගේ දකුණු පසෙහි හිඳ, අප උදෙසා මැදහත්කම් කරන්නේත් උන්වහන්සේ ය.</verse>
				<verse number="35">ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමයෙන්, අප වෙන් කළ හැකි වනුයේ කවරකුට ද? පීඩාවට, විපත්තියට හෝ වධ-බන්ධනවලටවත්, සාගතයට, නග්න භාවයට, උපද්‍රවයට හෝ කඩුවටවත් එය හැකි වේ ද?</verse>
				<verse number="36">ලියා තිබෙන ලෙස, “ඔබ නිසා දවස මුළුල්ලේ, අපි මරනු ලබන්නෙමු; ඝාතනයට නියම බැටළුවන් මෙන්, අපි ගණන් ගනු ලැබුවෙමු”</verse>
				<verse number="37">නැත; මේ සියල්ලේදී, අපට ප්‍රේම කළ තැනැත්තාණන් මඟින් අපි ජයග්‍රාහකයින්ටත් වඩා වැඩිමනත් වම්හ.</verse>
				<verse number="38">මන්ද මරණයට හෝ ජීවනයටවත්, දේව දූතයින්ට හෝ අධිපතීන්ටවත්, දැන් පවතින දේකට හෝ මතු පැමිණෙන දේකටවත්, බල-පරාක්‍රමයකටවත්,</verse>
				<verse number="39">උසට හෝ ගැඹුරට හෝ මුළු මහත් මැවිල්ලේ අන් කිසිවකටවත්, ක්‍රිස්තුස් යේසුස් අප ස්වාමින්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කළ නො හැකි වග මට සහතික ය.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">ක්‍රිස්තුස්වහන්සේ තුළ මම ඇත්ත කතා කරමි; බොරු නො කියමි. මගේ හෘදය සාක්ෂිය ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ ඒ ගැන සාක්ෂි දරයි.</verse>
				<verse number="2">මගේ හදෙහි දැඩි සංතාපයක් ද නො නවතින සංවේගයක් ද තිබේ.</verse>
				<verse number="3">මන්ද මාංසයට අනුව මගේ නෑයින් වූ මගේ සහෝදරයින් උදෙසා ශාපලද්දකු වී, ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන් කරනු ලබන්නට වුව, හැකි නම් කැමති වෙමි.</verse>
				<verse number="4">ඉශ්‍රායෙල්වරු ඔවුහු ය. පුත්‍රකමට පිළිගනු ලැබීමත්, තේජසත්, ගිවිසුම් හා දහම් නීතිය දීමත්, නමස්කාරයත්, පොරොන්දුත් ඔවුන්ගේ ය.</verse>
				<verse number="5">මුල් පියවරුන් ඔවුන්ගේ ය. මාංසයට අනුව ක්‍රිස්තුස්වහන්සේ ද ඔවුන්ගේ පෙළපතින් ය. සියල්ලටම උතුම් වූ දෙවියන්වහන්සේ වන උන්වහන්සේ සදහට ම ප්‍රශංසනීය ය! ආමෙන්.</verse>
				<verse number="6">එහෙත් දෙවියන්වහන්සේගේ වචනය අසමත් වූවා සේ පෙනෙනවා නො වේ; ඉශ්‍රායෙල් වෙතින් පැවත එන සියල්ලන් ඉශ්‍රායෙල් නො වේ.</verse>
				<verse number="7">ආබ්‍රහම්ගේ වංශයෙන් පැවත එන නිසාම ඒ සියල්ලෝ ඔහුගේ දරුවන් නො වෙති. මන්ද, “ඔබගේ වංශය නම් කෙරෙන්නේ ඊසාක් මඟිනි.”</verse>
				<verse number="8">මෙහි අදහස, දෙවියන්වහන්සේගේ දරුවන් වන්නේ මාංසයේ දරුවන් නො වන බවත්, වංශය වශයෙන් ගණන් ගැනෙන්නේ පොරොන්දුවේ දරුවන් බවත් ය.</verse>
				<verse number="9">මන්ද පොරොන්දුවේ කියවෙන්නේ මෙයයි: “ඊළඟ වසරේ මේ කාලයට මම ආපසු එන්නෙමි. එකල සාරා පුතකු ලබනු ඇත” කියා ය.</verse>
				<verse number="10">එපමණක් නො වේ; රෙබෙකා, එක මිනිසකු මඟින්, අප ආදි පිය ඊසාක් මඟින් දරුවන් පිළිසිඳ ගත් කල,</verse>
				<verse number="11">ඔවුන් උපදින්නටත් පෙර, ඔවුන් හොඳක් හෝ නරකක් හෝ කරන්නට පෙර මෙවැන්නක් සිදු විය: දෙවියන්වහන්සේගේ තෝරාගැන්මේ තීරණය රඳා පවත්නේ, උන්වහන්සේගේ කැඳවීම අනුව මිස, ඒ ඒ අයගේ ක්‍රියා මත නො වන වග තහවුරු වන පිණිස,</verse>
				<verse number="12">“වැඩිමලා බාලයාට මෙහෙ කරනු ඇතැ” යි ඇයට දැනුම් දෙන ලද්දේ,</verse>
				<verse number="13">“මම යාකොබ්ට ප්‍රේම කළෙමි; එහෙත් ඒසව්ට ද්වේෂ කළෙමි” යි ලියා ඇති පරිදි ය.</verse>
				<verse number="14">එසේ නම් අපි කුමක් කියමු ද? දෙවියන්වහන්සේ අසාධාරණ යැයි කිව හැකි ද? සත්තකින්ම නැත!</verse>
				<verse number="15">මන්ද උන්වහන්සේ මෝස‍ෙස්ට කියන්නේ, “දයාව දක්වන්නට මා කැමති කෙනාට, මම දයා වන්නෙමි; අනුකම්පා කරන්නට මා කැමති කෙනාට, මම අනුකම්පා කරන්නෙමි” කියා ය.</verse>
				<verse number="16">එබැවින්, දයාව රඳා පවත්නේ මිනිසාගේ කැමැත්ත හෝ ප්‍රයත්න හෝ මත නො ව, දයාව දක්වන්නා වූ දෙවියන්වහන්සේ මත ය.</verse>
				<verse number="17">මන්ද ශුද්ධ ලියවිල්ල පාරාවෝට පවසන්නේ, “මා නුඹ නැගිට වූයේ, මේ අරමුණ උදෙසාම ය; එනම්, නුඹ තුළින් මාගේ බලය පෙන්වා, පොළොව මුළුල්ලේ මාගේ නාමය ප්‍රකාශ වන පිණිස ය” කියා ය.</verse>
				<verse number="18">මෙසේ, උන්වහන්සේ දයාවන්නට කැමති කෙනාට, උන්වහන්සේ දයාව පානා සේක; උන්වහන්සේ දැඩි කරන්නට කැමති කෙනාගේ සිත, දැඩි කරන සේක.</verse>
				<verse number="19">ඔබ මට මෙසේ පවසනු ඇත: “මන්ද උන්වහන්සේ තවමත් දොස් පවරන්නේ ඇයි? උන්වහන්සේගේ කැමැත්තට එරෙහි වීමට පුළුවන් කවරකුට ද?”</verse>
				<verse number="20">එහෙත්, එම්බා මනුෂ්‍යය, දෙවියන්වහන්සේ හා එකට එක කීමට ඔබ කවුරු ද? “ඔබ මේ විදියට මා තැනුවේ මන්දැ?” යි මැටිවලින් තැනූ දෙයක්, එය තැනූ අයට කියයි ද?</verse>
				<verse number="21">එකම මැටි පිඩකින් එක් බඳුනක් උසස් කටයුත්තක් සඳහාත්, අනෙකක් නො වැදගත් කටයුත්තක් සඳහාත් හදන්නට කුඹල්කරුට අයිතිය නැද්ද?</verse>
				<verse number="22">දෙවියන්වහන්සේ තම උදහස පෙන්වීමටත්, ස්වකීය බලය විදහා පෑමටත් කැමතිව, විනාශයට සූදානම් කරන ලද උදහසේ භාජන ගැන මහත් සේ ඉවසූ සේක් නම් මොකද?</verse>
				<verse number="23">එසේ කර ඇත්තේ, තේජෝ මහිමය සඳහා කල්තියා සූදානම් කරන ලද දයාවේ භාජන වෙත උන්වහන්සේගේ තේජෝ මහිමයේ ඉසුර විදහා දක්වන පිණිස ය.</verse>
				<verse number="24">එසේ කැඳවනු ලැබ ඇත්තේ, යුදෙව්වන් වෙතින් පමණක් නො ව, අන්‍ය-ජාතීන් වන අප ද වෙතින් ය.</verse>
				<verse number="25">හොසියාගේ පොතේ උන්වහන්සේ පවසන්නේ මෙසේ ය: “මගේ ජනයා නො වූවන්ට, ‘මගේ ජනයා’ ය කියා මම අමතමි; ප්‍රේමණීය නො වූ තැනැත්තියට ‘ප්‍රේමණීය ය’ කියා අමතමි.”</verse>
				<verse number="26">තවද, “ ‘ඔබ මගේ ජනයා නො වේය’ කියා ඔවුන්ට කියන ලද තැන්හිදීම, ඔවුහු, ‘ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ’ යයි කියනු ලබන්නෝ ය”</verse>
				<verse number="27">යෙසායා ඉශ්‍රායෙල් ජනයා පිළිබඳව මොරගාමින් මෙසේ කීවේ ය. “ඉශ්‍රායෙල් දරුවන්, ගණනින් මුහුදු වෙරළේ වැලි මෙන් වුව ද, ගලවනු ලබන්නේ ඉන් ඉතිරි ස්වල්ප දෙනකු පමණි.</verse>
				<verse number="28">මන්ද ස්වාමින්වහන්සේ ස්වකීය තීන්දුව සම්පූර්ණයෙන් ද නො පමාව ද ක්‍රියාත්මක කරන සේක.”</verse>
				<verse number="29">තවද යෙසායා පළමුවෙනුත් කී පරිදි මෙසේ ය: “සියලු බලැති ස්වාමින්වහන්සේ අපටත් පෙළපතක් ඉතිරි නො කළ සේක් නම්, අප සොදොම මෙන් විය හැකිව තිබිණි; ගොමොරාව මෙන් වීමට තිබිණි.”</verse>
				<verse number="30">එසේ නම් කුමක් කියමු ද? ධර්මිෂ්ඨකම හඹා ගිය නැති අන්‍ය-ජාතීහු, ධර්මිෂ්ඨකම අත්කර ගත්හ. ඒ, ඇදහිල්ල මඟින් ලැබෙන ධර්මිෂ්ඨකම ය.</verse>
				<verse number="31">එහෙත් දහම් නීතියකින් එන ධර්මිෂ්ඨකම හඹා ගිය ඉශ්‍රායෙල්, ඒ නීතියට ළං වීමට අපොහොසත් වූහ.</verse>
				<verse number="32">ඒ ඇයි? ඒ, ඔවුන් ඇදහිල්ල මඟින් නො ව, ක්‍රියා මත පිහිටා කටයුතු කළ බැවිනි. එබැවින් ඔවුහු පැකිළීමේ ගල පිට පැකුළුණහ.</verse>
				<verse number="33">එසේ වූයේ, “මෙන්න! මම පැකිළීමේ ගලක් ද බාධක පර්වතයක් ද සියොන්හි තබමි. උන්වහන්සේ තුළ විශ්වාස කරන කවරකු වුව ලජ්ජාවට පත් වන්නේ නැතැ” යි ලියා ඇති පරිද්දෙනි.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">සහෝදරයිනි, ඔවුන් උදෙසා මා හදවතේ ආශාවත්, දෙවියන්වහන්සේට මාගේ යාච්ඤාවත් ඔවුන් ගලවනු ලැබීම ය.</verse>
				<verse number="2">හරි වැටහීමෙන් තොරව වුව ද, ඔවුන් දෙවියන්වහන්සේ වෙත දැඩි උද්යෝගයෙන් සිටින බවට මම ඔවුන් ගැන සාක්ෂි දරමි.</verse>
				<verse number="3">මන්ද දෙවියන්වහන්සේ වෙතින් එන ධර්මිෂ්ඨකම නො දන්නාකමින්, තම ධර්මිෂ්ඨකම පිහිටුවීමට සෙවූ ඔවුහු, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් නො වූහ.</verse>
				<verse number="4">මන්ද විශ්වාස කරන හැම කෙනකුටම ධර්මිෂ්ඨකම උදෙසා දහම් නීතියේ කෙළවර ක්‍රිස්තුස්වහන්සේ ය.</verse>
				<verse number="5">මන්ද දහම් නීතියට පාදක වූ ධර්මිෂ්ඨකම ගැන මෝසෙස් සඳහන් කරන්නේ, “ඒ දෑ කරන තැනැත්තා එයින් ජීවත් වන්නේ ය” යනුවෙනි.</verse>
				<verse number="6">එහෙත් ඇදහිල්ලට පාදක වූ ධර්මිෂ්ඨකම පවසන්නේ, “ ‘ස්වර්ගයට නැගෙන්නේ කවරෙක් ද’ (ක්‍රිස්තුස්වහන්සේ පහළට ගෙනෙන පිණිස) කියා හෝ</verse>
				<verse number="7">‘පාතාලයට බසින්නේ කවරෙක් ද’ (ක්‍රිස්තුස්වහන්සේ මළවුන් වෙතින් ගෙනෙන පිණිස) කියා හෝ ඔබේ සිතින් නො කියන්න” කියා ය.</verse>
				<verse number="8">එහෙත් එයින් පවසන්නේ කුමක් ද? “වචනය ඔබ සමීපයේ ය; එය ඔබේ මුවෙහි ය, එය ඔබේ හදවතේ ය” කියා ය. ඒ, අප ප්‍රකාශ කරන ඇදහිල්ලේ වචනයයි.</verse>
				<verse number="9">මන්ද යේසුස්වහන්සේ, ස්වාමින්වහන්සේ යැයි ඔබේ මුවින් ප්‍රකාශ කරන්නේ නම්, දෙවියන්වහන්සේ මළවුන්ගෙන් උන්වහන්සේ නැගිට වූ වග ඔබේ හදවතින් විශ්වාස කරන්නේ නම්, ඔබ ගලවනු ලබනු ඇත.</verse>
				<verse number="10">මන්ද හදවතින් විශ්වාස කිරීමෙන් කෙනෙක් ධර්මිෂ්ඨ කරනු ලබයි; මුවින් ප්‍රකාශ කිරීමෙන් කෙනෙක් ගලවනු ලබයි.</verse>
				<verse number="11">මන්ද, “උන්වහන්සේ තුළ විශ්වාස කරන කිසිවෙක් ලජ්ජාවට පත් කරනු ලබන්නේ නැතැ” යි ශුද්ධ ලියවිල්ල පවසයි.</verse>
				<verse number="12">මන්ද යුදෙව්, ග්‍රීක කියා වෙනසක් නැත; උන්වහන්සේ හැමෝටම ස්වාමියාණන් වන එකම ස්වාමින්වහන්සේව සිටිමින්, තමන් අයදින සියල්ලනට ස්වකීය ඉසුර ප්‍රදාන කරන සේක.</verse>
				<verse number="13">මන්ද, “ස්වාමින්වහන්සේගේ නාමයෙන් අයදින හැම කෙනෙක්ම ගලවනු ලබන්නේ ය.”</verse>
				<verse number="14">එසේ නම්, තමන් විශ්වාසය නො තැබූ කෙනකුට ඔවුන් යදින්නේ කොහොම ද? එසේම, තමන් නො ඇසූ කෙනකු තුළ ඔවුන් විශ්වාසය තබන්නේ කොහොම ද? යමෙක් දේශනා නො කළොත් ඔවුන් අහන්නේ කොහොම ද?</verse>
				<verse number="15">තවද යවනු ලැබුවොත් මිස, යමෙක් දේශනා කරන්නේ කොහොම ද? ලියා තිබෙන පරිදි, “ශුභාරංචිය ගෙනෙන අයගේ පාද, කොතරම් අලංකාර ද!”</verse>
				<verse number="16">එහෙත් ඔවුන් සියලු දෙනා ශුභාරංචියට කීකරු වූයේ නැත. මන්ද යෙසායා කතා කරමින්, “ස්වාමින්වහන්ස, අප පැවසූ පණිවුඩය විශ්වාස කළේ කවුරු දැ?” යි පවසයි.</verse>
				<verse number="17">මෙසේ, ඇදහිල්ල පැමිණෙන්නේ ඇසීමෙනි; ඇසීම ක්‍රිස්තුස්වහන්සේගේ වචනය තුළිනි.</verse>
				<verse number="18">එහෙත් මම මෙසේ අසමි: ඔවුන්ට අසන්නට ලැබුණේ නැති ද? සැබවින් ම ඔවුහු එය ඇසූහ. “මන්ද, ඔවුන්ගේ පණිවුඩය, පොළොව මුළුල්ලේ පැතිරේ; ඔවුන් පවසන වචන, ලොව එහා කෙළවරටත් දිවේ.”</verse>
				<verse number="19">මම මෙසේ අසමි: ඉශ්‍රායෙල් වටහා ගත්තේ නැති ද? පළමු කොට, මෝසෙස් මෙසේ පවසයි, “ජාතියක් නො වන්නවුන් වෙත මම ඔබ ඊර්ෂ්‍යා කරවන්නෙමි. අඥාන ජාතියක් ලවා මම ඔබ කෝප කරවන්නෙමි.”</verse>
				<verse number="20">ඉන්පසු යෙසායා නිර්භයව කතා කරමින්, “මා නො සෙවූ අය විසින් මා සොයාගෙන ඇත; මා ගැන නො විමසූ අයට මම එළිදරවු වීමි” යි පවසයි.</verse>
				<verse number="21">එහෙත්, ඉශ්‍රායෙල් ගැන ඔහු කියන්නේ, “දවස මුළුල්ලේ මා මගේ දෑත දිගු කරගෙන සිටියේ අකීකරුවූත්, හිතුවක්කාරවූත් ජනතාවක් වෙත ය” කියා ය.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">එසේ නම් මා අසන්නේ, දෙවියන්වහන්සේ ස්වකීය ජනයා අත්හැරිය සේක් ද? කොහෙත්ම නැත! මමත් ඉශ්‍රායෙලයෙක්මි. ආබ්‍රහම්ගේ පෙළපතින් පැවතෙන බෙන්ජමින් ගෝත්‍ර වාංශිකයෙක්මි.</verse>
				<verse number="2">දෙවියන්වහන්සේ තමන් පෙර-දැන සිටි තම ජනයා අත් නො හළ සේක. එලියා ගැන ශුද්ධ ලියවිල්ලේ කියන දේ, ඔහු ඉශ්‍රායෙල්ට එරෙහිව දෙවියන්වහන්සේට ආයාචනා කළ හැටි, ඔබ දන්නේ නැති ද?</verse>
				<verse number="3">“ස්වාමිනි, ඔවුන් ඔබගේ දිවැසිවරුන් මැරුවා. ඔබගේ පූජාසනය බිඳ දැමුවා. ඉතිරිව සිටින්නේ මා පමණයි; දැන් ඔවුන් මගේ ජීවිතය ගන්නටත් සොයනවා” යි කී විට,</verse>
				<verse number="4">කුමක් ද ඔහුට දෙවියන්වහන්සේගේ පිළිතුර? “බාල්ට දණ නො නැමූ මිනිසුන් හත්දහසක් මම මට ඉතිරි කරගෙන සිටිමි” යනුයි.</verse>
				<verse number="5">එසේම මේ වත්මනේදී ද අනුග්‍රහයෙන් තෝරා ගන්නා ලද ඉතිරි ස්වල්ප දෙනකු ඇත.</verse>
				<verse number="6">එය අනුග්‍රහයෙන් නම්, තවදුරටත් ක්‍රියා මඟින් නො වේ. නැතහොත් අනුග්‍රහය, අනුග්‍රහයක් වන්නේ නැත.</verse>
				<verse number="7">එසේ නම් කුමක් ද? ඉශ්‍රායෙල් සොයා ගිය දේ අත්කර ගැනීමට එයට නො හැකි විය. එහෙත් තෝරාගනු ලැබූ අය එය අත්කර ගත්හ. සෙසු අයගේ සිත් දැඩි කරන ලද්දේ,</verse>
				<verse number="8">මෙසේ ලියා ඇති පරිද්දෙනි: “දෙවියන්වහන්සේ ඔවුනට සිහිමුළා ආත්මයක් ද නො පෙනෙන ඇස් ද නෑසෙන කන් ද මේ අද දවස දක්වාම දුන් සේක.”</verse>
				<verse number="9">තවද දාවිත් මෙසේ කියයි: “ඔවුන්ගේ භෝජන මේසය, ඔවුන්ට මලපතක් හා උගුලක් ද බාධක කඩුල්ලක් හා දුර්විපාකයක් ද වේවා.</verse>
				<verse number="10">නො පෙනෙන පිණිස ඔවුන්ගේ ඇස් අඳුරු වේවා. ඔවුන්ගේ පිටකොන්ද සදහට ම නැමී යේවා” යනුවෙනි.</verse>
				<verse number="11">දැන් මා අසන්නේ, ඔවුන් පැකුළුණේ වැටී යන පිණිස ද? කොහෙත්ම නැත! එසේ ඉශ්‍රායෙල් ඊර්ෂ්‍යාවට පත් කරන පිණිස, ඔවුන්ගේ වරද හේතු කොට අන්‍ය-ජාතීන්ට ගැලවීම පැමිණවීමට ය.</verse>
				<verse number="12">මෙසේ ඔවුන්ගේ වරද, ලෝකයාට සමෘද්ධිය වී නම්, ඔවුන්ගේ පිරිහීම, අන්‍ය-ජාතීන්ට සමෘද්ධිය වී නම්, ඔවුන්ගේ පූර්ණත්වය, කොයි තරම් ඉමහත් සමෘද්ධියකට හේතු වේ ද?</verse>
				<verse number="13">මා දැන් කතා කරන්නේ අන්‍ය-ජාතිකයින් වූ ඔබට ය. මා අන්‍ය-ජාතිකයින්ගේ අපෝස්තුලුවරයා බැවින්, මම මගේ මෙහෙයය උතුම් කොට සලකමි.</verse>
				<verse number="14">හේතුව, කෙලෙස හෝ මගේම ජනයා ඊර්ෂ්‍යා ගන්වා, එමඟින් ඔවුන් කීප දෙනකු හෝ ගැලවීමයි.</verse>
				<verse number="15">මන්ද ඔවුන් ඉවතලීම සෙසු ලෝකයා සමඟි කිරීම වී නම්, ඔවුන් පිළිගැනීම මළවුන් කෙරෙන් ජීවනය මිස අන් කවරේ ද?</verse>
				<verse number="16">නාඹුල් පල වශයෙන් ඔප්පු කරන පිටි ස්වල්පය පවිත්‍ර නම්, ඇනූ පිටි ගුලියම පවිත්‍ර ය. ගසේ මුල පවිත්‍ර නම් එහි අතුත් පවිත්‍ර ය.</verse>
				<verse number="17">එහෙත් අතු සමහරක් කඩා දමනු ලදුව, වල් ඔලීව රිකිල්ලක් වන ඔබ අනෙක් අතු අතරේ ගසට බද්ධ කරනු ලැබ, ඔබ ඒ ඔලීව මුලේ පෝෂණ සාරයට කොටස්කරුවකු වී නම්,</verse>
				<verse number="18">අතුවලට එරෙහිව උදාරම් නො වන්න. උදාරම් වේ නම් මෙය සිතට ගන්න: මුල ඔබෙන් නඩත්තු වෙනවා නො වේ; මුලෙන් නඩත්තු වන්නේ ඔබයි.</verse>
				<verse number="19">“ගසට මා බද්ධ කරනු පිණිස, අතු කඩා දමන ලදැ” යි ඔබ කියනු ඇත.</verse>
				<verse number="20">එය ඇත්තයි, ඒවා කඩා දමන ලද්දේ ඔවුන්ගේ නො ඇදහිල්ල හේතුවෙනි. ඔබ සිට ගත්තේ ඇදහිල්ල නිසාවෙනි. එබැවින් අහංකාර නො වී, එහෙත් බයින් සිටින්න.</verse>
				<verse number="21">මන්ද දෙවියන්වහන්සේ ස්වාභාවික අතු ඉතිරි නො කළ සේක් නම්, ඔබත් ඉතිරි නො කරනු ඇත.</verse>
				<verse number="22">එබැවින්, දෙවියන්වහන්සේගේ කාරුණික භාවයත්, දැඩි භාවයත් කල්පනාවට ගන්න. වැටී ගියවුන් වෙත දැඩි භාවය ය; උන්වහන්සේගේ කරුණාවෙහි ඔබ පැවත සිටින්නේ නම්, ඔබට දෙවියන්වහන්සේගේ කාරුණික භාවය ය. එසේ නො වුවහොත්, ඔබ ද කපා දැමේ.</verse>
				<verse number="23">එසේම ඔවුහු තම නො ඇදහිලිවත්කමෙහි දිගටම නො රැඳේ නම්, යළි බද්ධ කරනු ලබති. මන්ද ඔවුන් යළි බද්ධ කිරීමට දෙවියන්වහන්සේට බලය ඇත.</verse>
				<verse number="24">ස්වභාවයෙන් වල් ඔලීව ගසකින් කැපූ අතු වූ ඔබ, සිටුවන ලද හොඳ ඔලීව ගසට ස්වභාව ධර්මයට පටහැනිව බද්ධ කරන ලද්දේ වී නම්, ඊට වඩා කොපමණ පහසුවෙන් ඒ ස්වාභාවික අතු ඔවුන්ගේම ඔලීව ගසට බද්ධ කරනු නො ලැබේ ද!</verse>
				<verse number="25">සහෝදරයිනි, ඔබ නැණවත් යයි ඔබ උඩඟු නො වන පිණිස මේ අබිරහස දැන ගන්නවාට කැමැත්තෙමි. ඉශ්‍රායෙල් වෙත තරමක දැඩිකමක් පැමිණ ඇත්තේ, අන්‍ය-ජාතිකයින්ගේ සම්පූර්ණත්වය පැමිණෙන තෙක් ය.</verse>
				<verse number="26">ඒ අයුරින් මුළු ඉශ්‍රායෙල් ගලවනු ලබන්නෝ ය. ලියා ඇති ලෙස, “ගැලවුම්කරුවාණෝ සියොන්හි සිට එන සේක. එතුමාණෝ යාකොබ් වෙතින් අභක්තිය පහ කරන සේක.</verse>
				<verse number="27">මා ඔවුන්ගේ පාප දුරලන කල, මා ඔවුන්ට දෙන ගිවිසුම මෙය වන්නේ ය.”</verse>
				<verse number="28">ශුභාරංචියට අදාළව ඔවුන් ඔබ උදෙසා දෙවියන්වහන්සේගේ සතුරන් ය; එහෙත් තෝරාගැනුමට අදාළව ඔවුන්ගේ ආදි පියවරුන් උදෙසා ඔවුන් ප්‍රේමණීයයන් ය.</verse>
				<verse number="29">මන්ද දෙවියන්වහන්සේගේ දීමනා හා උන්වහන්සේගේ කැඳවීම අවලංගු කළ නො හැකි ය.</verse>
				<verse number="30">කලක් දෙවියන්වහන්සේට අකීකරුව සිටි ඔබ, ඔවුන්ගේ අකීකරුවීම හේතුවෙන් දැන් දයාව ලැබූ අයුරින්,</verse>
				<verse number="31">ඔවුන් ද දැන් අකීකරුකමෙහි සිටින්නේ, ඔබ ලද දයාව මඟින් දැන් ඔවුන් ද දයාව ලබන පිණිස ය.</verse>
				<verse number="32">මන්ද සියල්ලන් වෙතම දයාව පානා පිණිස දෙවියන්වහන්සේ ඔවුන් හැම අකීකරුකමෙහි සිර අඩස්සි කළ සේක.</verse>
				<verse number="33">බලන්න, දෙවියන්වහන්සේගේ සමෘද්ධියේත්, ප්‍රඥාවෙත්, දැනගැන්මෙත් ගැඹුර කොතරම් ද! උන්වහන්සේගේ විනිශ්චයන් කෙසේවත් සොයා දැනගත හැකි ද! උන්වහන්සේගේ මාර්ග කොතරම් ගුප්ත ද!</verse>
				<verse number="34">“ස්වාමින්වහන්සේගේ සිත දැන ගත්තේ කවුරු ද? උන්වහන්සේට උපදේශක වූයේ කවුරු ද?”</verse>
				<verse number="35">“උන්වහන්සේ ආපසු ගෙවන පිණිස උන්වහන්සේට ත්‍යාගයක් දුන්නේ කවුරු ද?”</verse>
				<verse number="36">මන්ද සියලු දේම උන්වහන්සේගෙනි. උන්වහන්සේ මඟිනි. සියලු දේ උන්වහන්සේ උදෙසා ය. උන්වහන්සේට සදහට ම මහිමය වේවා! ආමෙන්.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">එබැවින් සහෝදරයිනි, දෙවියන්වහන්සේගේ දයාවන් හමුවේ මා උදක්ම ඔබෙන් ඉල්ලා සිටින්නේ, ඔබගේ ශරීර ශුද්ධවූත්, දෙවියන්වහන්සේට ප්‍රිය ප්‍රසන්නවූත් ජීවමාන යාගයක්ව දෙවියන්වහන්සේට පිළිගන්වන ලෙසයි. ඔබේ ආත්මික නමස්කාරය එයයි.</verse>
				<verse number="2">තවදුරටත් මේ ලෝකයේ ගති-පිළිවෙලට අනුකූල නො වී, ඔබේ මනස අලුත් කර ගැනීමෙන් වෙනස් ආකාර වන්න. දෙවියන්වහන්සේගේ කැමැත්ත, යහපත්වූත්, ප්‍රිය ප්‍රසන්නවූත්, පරිපූර්ණවූත් කැමැත්ත කුමක්දැයි ඔබටම පරීක්ෂා කර, අනුමත කර ගත හැකි වන්නේ එවිට ය.</verse>
				<verse number="3">මට දෙන ලද අනුග්‍රහයට අනුව ඔබ හැම කෙනකුටම මා කියන්නේ, යුතු පමණට වඩා තමන් ගැන උතුම් කොට නො සිතා, දෙවියන්වහන්සේ ඔබට බෙදා දෙන ලද ඇදහිල්ලේ ප්‍රමාණයට අනුව, මධ්‍යස්ථ නිගමනයක සිට, තමන් ගැන සිතන්න කියා ය.</verse>
				<verse number="4">අපට ඇති එක සිරුරේ බොහෝ අවයව ඇතත්, ඒ අවයවයනට ඇත්තේ එකම කාර්ය භාරයක් නො වන පරිදි,</verse>
				<verse number="5">අපත් බොහෝ දෙනකු නමුදු, ක්‍රිස්තුස්වහන්සේ තුළ එක ශරීරයක්ව, අන්‍යෝන්‍ය අවයව වේ.</verse>
				<verse number="6">අපට දෙන ලද අනුග්‍රහයට අනුව අප එකිනෙකාට ඇති දීමනා විවිධ ය. කෙනකුගේ දීමනාව දිවැස් වැකි පැවසීම නම්, තම ඇදහිල්ලේ ප්‍රමාණය අනුව භාවිත කරත්වා.</verse>
				<verse number="7">එය සේවය කිරීම නම්, සේවය කිරීමෙහි යෙදෙත්වා. ඉගැන්වීම නම්, ඉගැන්වීමෙහි නිරත වේවා,</verse>
				<verse number="8">එය, දිරිගැන්වීම නම්, දිරිගන්වත්වා. ආධාර දෙන්නා, ත්‍යාගශීලීව දෙත්වා. නායකත්වය දෙන්නා උද්යෝගිමත්ව ඒ කටයුතු කරත්වා. දයාව දක්වන්නා සතුටු සිතින් එසේ කරත්වා.</verse>
				<verse number="9">ප්‍රේමය අව්‍යාජ වේවා. නපුර පිළිකුල් කරන්න; යහපත වැලඳගන්න.</verse>
				<verse number="10">සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ප්‍රේම වන්න; අන් අය තමනට වඩා ගරු කොට සලකන්න.</verse>
				<verse number="11">උද්යෝගයෙන් කිසි විටෙකත් හීන නො වී, ආත්මයෙන් උද්යෝගීව ස්වාමින්වහන්සේට සේවය කරන්න.</verse>
				<verse number="12">බලාපොරොත්තුවෙහි ප්‍රීතිවන්න. පීඩාවන්හි දී ඉවසිලිමත් වන්න. යාච්ඤාවෙහි නිරත වන්න.</verse>
				<verse number="13">ශුද්ධවතුන්ගේ අවශ්‍යතාහි දී ආධාර-උපකාර කරන්න. ආගන්තුක සත්කාරයෙහි ක්‍රියාකාරී වන්න.</verse>
				<verse number="14">ඔබට පීඩාකරන්නන්ට ආශිර්වාද කරන්න; ශාප නො කර, ආශිර්වාද කරන්න.</verse>
				<verse number="15">ප්‍රීති වන්නන් සමඟ ප්‍රීතිවන්න. ශෝක වන්නන් සමඟ ශෝක වන්න.</verse>
				<verse number="16">එකිනෙකා හා සමඟියෙන් ජීවත් වන්න. අහංකාර නො වන්න. යටහත් අය සමඟ ඇසුරු කරන්න. ඔබ ප්‍රඥාවන්ත යයි සිතා උඩඟු නො වන්න.</verse>
				<verse number="17">කිසිවකුටත් නපුරට-නපුර නො කරන්න. හැමෝම ඉදිරියේ ගරු කටයුතු දේම කරන්නට සිතට ගන්න.</verse>
				<verse number="18">හැකි පමණින්, හැම කෙනකු සමඟ සාමයෙන් වෙසෙන්න.</verse>
				<verse number="19">ප්‍රේමණීයයනි, පළි ගැනීමට නො යන්න; මන්ද, “පළි ගැනීම මා සතු ය. මම විපාක දෙන්නෙමි” යි ස්වාමින්වහන්සේ කියන සේකැයි ලියා ඇති බැවින්, එය දෙවියන්වහන්සේගේ උදහසට බාර දෙන්න.</verse>
				<verse number="20">අනෙක් අතට, “ඔබගේ සතුරාට සාගිනි නම්, කන්නට දෙන්න; පිපාස නම්, බොන්නට දෙන්න. එසේ කිරීමෙන්, ඔබ ඔහුගේ හිස පිට ගිනි ඇවිළෙන අඟුරු ගොඩගසන්නේ ය.”</verse>
				<verse number="21">නපුරට ඔබ පරදවන්න නො දී, යහපත මඟින් නපුර පරදවන්න.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">හැම කෙනෙක්ම රාජ්‍ය බලධාරීන්ට යටත් විය යුතු ය. මන්ද දෙවියන්වහන්සේගෙන් නො වන ආධිපත්‍යයක් නැත; දැනට පවතින ඒවා පිහිටුවා ඇත්තේ දෙවියන්වහන්සේ ය.</verse>
				<verse number="2">එබැවින් බලධරයනට එරෙහි වන කවුරුන් වුව එරෙහි වන්නේ, දෙවියන්වහන්සේ විසින් පිහිටූ නියමයකට ය. ඒ අය තමන්ටම දඬුවම් පමුණුවා ගනිති.</verse>
				<verse number="3">වැරදි කරන්නන්ට මිස, නිවැරදි අයට පාලකයින්ගෙන් බයක් නැත. පාලකයනට බයක් නැතිව සිටින්නට ඔබට ඕනෑ ද? එසේ නම් හරි දේ කරන්න. එවිට ඔහුගේ අනුමැතිය ඔබට ලැබේ.</verse>
				<verse number="4">මන්ද ඔබගේ යහපත තකා දෙවියන්වහන්සේගේ සේවකයා ඔහු ය. එහෙත් ඔබ වැරදි කරනවා නම් බය වන්න; මන්ද ඔහු අසිපත දරන්නේ අහේතුකව නො වේ. වරදකරුවාට දෙවියන්වහන්සේගේ උදහස පමුණුවන්නා වන දෙවියන්වහන්සේගේ සේවකයා ඔහු ය.</verse>
				<verse number="5">එබැවින්, දෙවියන්වහන්සේගේ උදහසින් වළකින්නට පමණක් නො ව, හෘදය සාක්ෂිය ද නිසා යටත් විය යුතු ය.</verse>
				<verse number="6">ඔබ බදු ගෙවන්නේ ද මේ හේතුව නිසා ය. මන්ද බලධාරීන් මෙම කාරියට උරදෙන දෙවියන්වහන්සේගේ සේවකයින් ය.</verse>
				<verse number="7">ගෙවිය යුතු හැමට ගෙවන්න; වරිපණම් ගෙවිය යුත්තාට වරිපණම් ද බදු ගෙවිය යුත්තාට බදු ද ගෙවන්න. අවනත විය යුත්තාට අවනත වන්න. ගරු කළ යුතු අයට ගරු කරන්න.</verse>
				<verse number="8">එකිනෙකාට ප්‍රේම කිරීමට ණයවීම මිසක කිසිවකුට කිසිවක් ණය නො වන්න. මන්ද අනෙකකුට ප්‍රේම කරන්නා, දහම් නීතිය සම්පූර්ණ කරයි.</verse>
				<verse number="9">“පරදාර සේවනය නො කරනු, මිනී නො මරනු, සොරකම් නො කරනු, තණ්හා නො වනු,” යන ආඥා හා සෙසු ආඥා, “ඔබටම සේ ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” යන වචනයේ සම්පිණ්ඩනය වී ඇත.</verse>
				<verse number="10">ප්‍රේමය අසල්වැසියාට හානියක් කරන්නේ නැත. එබැවින් දහම් නීතියේ සම්පූර්ණත්වය ප්‍රේමයයි.</verse>
				<verse number="11">මේ හැර, නින්දෙන් ඔබ අවදි විය යුතු පැය පැමිණ ඇති වග, කාලය දන්නා ඔබ දනී; මන්ද මුලින් අප අදහාගත් කාලයට වඩා අපේ ගැලවීම දැන් ආසන්න ය.</verse>
				<verse number="12">රාත්‍රිය බොහෝ සෙයින් ගෙවී ගොසිනි; දහවල අත ළඟ ය. එබැවින් අන්ධකාරයේ ක්‍රියා ඉවත ලා, ආලෝකයේ අවි පැලඳ ගනිමු.</verse>
				<verse number="13">මධුපානෝත්සව හා බේබදුකම ද ලිංගික අපචාර හා සල්ලාලකම ද අඩ දබර හා ඊර්ෂ්‍යාව ද තුළ නො ව, දහවලට ඔබින සේ ශිෂ්ට සම්පන්නව කටයුතු කරමු.</verse>
				<verse number="14">ඒ හැර, මාංසයේ තෘෂ්ණා පිනවීමට ඉඩ සලසන්නේ නැතිව, යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ පැලඳ ගන්න.</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">ඇදහිල්ලේ දුර්වල අය පිළිගන්න. එහෙත් මත වාද ගැන විවාදයට නො වේ.</verse>
				<verse number="2">යමෙක් කවර දෙයක් වුව කෑ හැකියයි විශ්වාස කරන අතර, දුර්වල තැනැත්තා එළවුළු පමණක් ආහාරයට ගනියි.</verse>
				<verse number="3">කවර දේත් අනුභව කරන තැනැත්තා, එසේ නො කන තැනැත්තා පහත් කොට නො සැලකිය යුතු ය. තවද හැම දේ නො කන තැනැත්තා, හැම දේ අනුභව කරන තැනැත්තා විනිශ්චය නො කළ යුතු ය. මන්ද දෙවියන්වහන්සේ ඔහු පිළිගෙන ඇති බැවිනි.</verse>
				<verse number="4">අන් කෙනකුගේ සේවකයා විනිශ්චය කරන්නට ඔබ කවුරු ද? ඔහු කෙළින් සිටියත්, වැටුණත් ඒ ඔහුගේ ස්වාමියා ඉදිරියෙහි ය. ඔහු නැගිටිනු ඇත. මන්ද ඔහු නැගිටුවන්නට ස්වාමින්වහන්සේ සමත් ය.</verse>
				<verse number="5">කෙනෙක් එක් දවසක්, තව දවසකට වඩා උතුම් කොට සලකයි; තව කෙනෙක් හැම දවසක්ම එක සමානව උතුම් යයි සලකයි. හැම කෙනෙක්ම තමාගේ සිතින් නිසැකව ඒත්තු ගත යුතු ය.</verse>
				<verse number="6">දවසක් උතුම් යයි සලකන්නා එසේ කරන්නේ, ස්වාමින්වහන්සේගේ ගෞරවය උදෙසා ය. අනුභව කරන තැනැත්තා ඒ ගැන දෙවියන්වහන්සේට ස්තුති දෙන බැවින්, අනුභව කරන්නේ ස්වාමින්වහන්සේගේ ගෞරවය උදෙසා ය. යම් කෑමකින් වැළකී සිටින්නා ද ස්වාමින්වහන්සේගේ ගෞරවය උදෙසා එසේ වැළකී සිටිමින්, දෙවියන්වහන්සේට ස්තුති කරයි.</verse>
				<verse number="7">මන්ද අප කිසිවකු තමාම උදෙසා ජීවත් වන්නේ නැත. අප කිසිවකු තමාම උදෙසා මියෙන්නේ ද නැත.</verse>
				<verse number="8">ජීවත් වන්නෙමු නම්, අප ජීවත් වන්නේ ස්වාමින්වහන්සේ උදෙසා ය. මියෙනවා නම්, අප මියෙන්නේ ද ස්වාමින්වහන්සේ උදෙසා ය. එබැවින්, ජීවත් වෙතත්, මිය ගියත් අප ස්වාමින්වහන්සේගේ ය.</verse>
				<verse number="9">ක්‍රිස්තුස්වහන්සේ මිය ගියේත්, ජීවනයට පැමිණියේත් මේ අරමුණ උදෙසා ය; එනම් මළවුන්ගේ ද ජීවතුන්ගේ ද යන දෙගොල්ලගේම ස්වාමියාණන් වීමට ය.</verse>
				<verse number="10">එසේ නම් ඔබ, ඔබගේ සහෝදරයා විනිශ්චය කරන්නේ මන්ද? නැතහොත් ඔබේ සහෝදරයා හෙළා දකින්නේ මන්ද? අප සැවොම දෙවියන්වහන්සේගේ විනිශ්චය ආසනය ඉදිරියේ පෙනී සිටිය යුතුව ඇත.</verse>
				<verse number="11">මන්ද, “ ‘මා ජීවත්වන්නා සේ ම, හැම දණක්ම මට නමන්නේ ය; හැම දිවක්ම මා දෙවියන්වහන්සේ බව ප්‍රකාශ කරන්නේ යැ’ යි” ලියා තිබේ.</verse>
				<verse number="12">එබැවින්, අප හැම කෙනකුම තමන් ගැන දෙවියන්වහන්සේට ගණන් දිය යුතුව ඇත.</verse>
				<verse number="13">එබැවින්, තවදුරටත් එකිනෙකා විනිශ්චය කිරීම නවතමු. ඔබේ සහෝදරයාගේ මාර්ගය පැකිළවීමේ හෝ බාධකයක් වන කිසිවක් නො කිරීමට තීරණ කරගන්න.</verse>
				<verse number="14">කිසිවක් අපවිත්‍ර නැති වග යේසුස් ස්වාමින්වහන්සේ තුළ දැන, ඒත්තු ගෙන සිටිමි. එහෙත් යමක් අපවිත්‍රයයි සිතන කෙනකුට ඒවා අපවිත්‍ර ය.</verse>
				<verse number="15">මන්ද ඔබගේ යම් කෑමක් ඔබගේ සහෝදරයාගේ ශෝකයට හේතු වේ නම්, තවත් ඔබ ප්‍රේමයේ හැසිරෙනවා නො වේ. ක්‍රිස්තුස්වහන්සේ යමකු උදෙසා මැරුණා ද, ඔබගේ කෑමකින් ඔහු විනාශ නො කරන්න.</verse>
				<verse number="16">හොඳයයි ඔබ පිළිගත් දේ නපුරකැයි කියනු ලබන්නට ඉඩ නො තබන්න.</verse>
				<verse number="17">මන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත්, බීමත් පිළිබඳ වූවක් නො ව ධර්මිෂ්ඨත්වයත්, සාමයත්, ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියත් ය.</verse>
				<verse number="18">මෙසේ ක්‍රිස්තුස්වහන්සේට සේවය කරන්නාට දෙවියන්වහන්සේගේ ප්‍රසාදයත්, මිනිසුන්ගේ අනුමැතියත් ලැබේ.</verse>
				<verse number="19">එබැවින් සාමයටත්, අන්‍යෝන්‍ය වර්ධනයටත් තුඩු දෙන ප්‍රයත්න දරමු.</verse>
				<verse number="20">දෙවියන්වහන්සේගේ කාර්යය ඔබගේ කෑමක් උදෙසා විනාශ නො කරන්න. හැම දේම ඇත්තෙන්ම පවිත්‍ර ය. එහෙත් තමාගේ කෑමකින් අනෙකකු පැකිළවීම වරදකි.</verse>
				<verse number="21">මස් කෑමෙන්, මිදි යුෂ බීමෙන් හෝ අන් යමක් කිරීමෙන් හෝ ඔබගේ සහෝදරයා පැකිළවීමට හේතු වේ නම්, ඉන් වැළකී සිටීම හොඳ ය.</verse>
				<verse number="22">ඔබට ඇති ඇදහිල්ල දෙවියන්වහන්සේත්, ඔබත් අතර තබාගන්න. තමන් අනුමත කරන දෑ ගැන තමාටම දොස් පවරා ගැනීමක් නැති පුද්ගලයා භාග්‍යවත් ය.</verse>
				<verse number="23">එහෙත් සැක සිතින් කෑමක් ගන්නා වරදට පත් කෙරෙන්නේ ඇදහිල්ලෙන් එය නො කරන නිසා ය. ඇදහිල්ලෙන් නො පැමිණෙන හැම දෙයක්ම පාපයකි.</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">ශක්තිමතුන් වූ අප, අපම සතුටු කර නො ගෙන, දුර්වල අයගේ දුර්වලතා ඉවසා සිටීම යුතු ය.</verse>
				<verse number="2">අප හැම කෙනකුම අප අසල්වැසියාගේ වර්ධනය උදෙසා, ඔහුගේ යහපතට ඔහු සතුටු කළ යුතු ය.</verse>
				<verse number="3">මන්ද, “ඔබට නින්දා කළවුන්ගේ නින්දා මා පිට පතිත විය” යනුවෙන් ලියා ඇති පරිදි: ක්‍රිස්තුස්වහන්සේ තමාම සතුටු කරගත්තේ නැත.</verse>
				<verse number="4">මන්ද පෙර දවස්හි ලියන ලද සියල්ල, ලියනු ලැබ ඇත්තේ අපට උපදෙස් පිණිස ය. ඉවසීම මඟින් හා ශුද්ධ ලියවිලි දිරිගැන්වීම් මඟින් අපට බලාපොරොත්තුව ඇති වන පිණිස ය.</verse>
				<verse number="5">ඔබ ක්‍රිස්තුස් යේසුස්වහන්සේට අනුකූලව, එකිනෙකා සමඟ සමඟියකින් ජීවත් වීමට ඉවසීමේත්, ධෛර්යයේත් දෙවියන්වහන්සේ ඔබට වර දෙන සේක්වා!</verse>
				<verse number="6">ඒ, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දෙවියන්වහන්සේට හා පියාණන්වහන්සේට ඔබ හැම එක්ව, එක කටහඬින් මහිමය දෙන පිණිස ය.</verse>
				<verse number="7">එබැවින් දෙවියන්වහන්සේගේ මහිමය පිණිස ක්‍රිස්තුස්වහන්සේ ඔබ පිළිගත් සේ ම, ඔබත් එකිනෙකා පිළිගන්න.</verse>
				<verse number="8">මා ඔබට කියන්නේ, ක්‍රිස්තුස්වහන්සේ චර්මඡේදිතයින්ගේ සේවකයකු වූයේ, දෙවියන්වහන්සේගේ සත්‍යවාදීත්වය දක්වන පිණිස බව ය; එසේ කළේ, ආදි පියවරුනට දෙන ලද පොරොන්දු ස්ථිර කරන පිණිසත්,</verse>
				<verse number="9">උන්වහන්සේගේ දයාව නිසා අන්‍ය-ජාතීන් දෙවියන්වහන්සේට තේජෝ මහිමය දෙන පිණිසත් ය; ඒ ගැන ලියා ඇති පරිදි මෙසේ ය: “එබැවින් අන්‍ය-ජාතීන් අතර මම ඔබ පසසමි, ඔබගේ නාමයට ගී ගයන්නෙමි.”</verse>
				<verse number="10">නැවතත්, “එම්බා අන්‍ය-ජාතීනි, උන්වහන්සේගේ ජනයා සමඟ ප්‍රීතිවන්න.”</verse>
				<verse number="11">නැවතත්, “සියලු අන්‍ය-ජාතීනි, ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න; සියලු ජනයා උන්වහන්සේට ප්‍රශංසා කරත්වා!”</verse>
				<verse number="12">නැවතත් යෙසායා මෙසේ කියයි, “ජාතීන්ට රජකම් කිරීමට නැගිටින, යෙස්සේගේ මුල වූ කෙනෙක් පැමිණෙනු ඇත. අන්‍ය-ජාතීන්ගේ බලාපොරොත්තුව උන්වහන්සේ තුළ වනු ඇත.”</verse>
				<verse number="13">ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් බලාපොරොත්තුවෙහි ඔබ පිරී ඉතිරී යන පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ, ඇදහීමේ සකල ප්‍රීතියෙන් හා සාමයෙන් ඔබ පූර්ණ කරන සේක්වා!</verse>
				<verse number="14">මා සහෝදරයිනි, ඔබ යහ ගුණයෙන් පිරී, දැනගැන්මෙන් සපිරි, එකිනෙකාට උපදෙස් දීමෙහි සමත්ව සිටින වග මම ඒත්තු ගෙන සිටිමි.</verse>
				<verse number="15">එහෙත් සමහර කරුණු ඔබට යළි සිහි ගන්වමින්, එඩිතරවම මා ඔබට ලියුවේ දෙවියන්වහන්සේ මට දෙන ලද අනුග්‍රහයට අනුව ය.</verse>
				<verse number="16">ඒ අනුව දෙවියන්වහන්සේගේ ශුභාරංචියේ පූජක මෙහෙවර තුළ, අන්‍ය-ජාතීන් උදෙසා ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සේවකයකු කරනු ලැබ සිටින්නේ, අන්‍ය-ජාතිකයින් ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් පවිත්‍ර කරනු ලැබ, දෙවියන්වහන්සේට පිළිගත මනා පූජාවක් වන පිණිස ය.</verse>
				<verse number="17">එබැවින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේට වූ මාගේ සේවය ගැන ආඩම්බර වීමට හේතු මට ඇත.</verse>
				<verse number="18">අන්‍ය-ජාතීන් කීකරුකමට ගෙන ඒමට, මා ලවා ක්‍රිස්තුස්වහන්සේ ඉටු කළ කාරිය ගැන මිස, අන් කවර දෙයක් ගැනවත් කතා කිරීමට එඩිතර නො වෙමි. වචනයෙන් ද ක්‍රියාවෙන් ද</verse>
				<verse number="19">අනුහස් ලකුණු හා පුදුමවල බලයෙන් ද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගේ බලයෙන් ද එසේ කළේ, යෙරුසලමේ සිට ඉල්ලිරිකුම් දක්වා වූ සියලු පළාත්හි ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචි සේවය සම්පූර්ණ කිරීමෙනි.</verse>
				<verse number="20">අන් කෙනකු දැමූ අත්තිවාරමක් මත ගොඩ නැගීමට සිදු නො වන පිණිස, හැම විට මාගේ අභිලාෂය වූයේ ක්‍රිස්තුස්වහන්සේගේ නාමය සඳහන් නො වූ තැන්වල ශුභාරංචිය දේශනා කිරීම ය.</verse>
				<verse number="21">ඒ, ලියා ඇති පරිද්දෙනි: “උන්වහන්සේ ගැන කිසි දා දන්වනු නො ලැබූ අය දකිනු ඇත. තවද උන්වහන්සේ ගැන කිසි දා නෑසූ අය වටහා ගනු ඇත.”</verse>
				<verse number="22">ඔබ වෙත ඒමෙන් බොහෝ වර මා වළකන ලද්දේ ඒ හේතුව නිසා ය.</verse>
				<verse number="23">එහෙත් දැන්, තවදුරටත් මෙපෙදෙස්හි මට ඉඩක් ඉතිරිව නැති නිසාත්, බොහෝ කලෙක පටන් ඔබ වෙත එන්නට මා ආශාවෙන් සිටි නිසාත්,</verse>
				<verse number="24">මා, ඔබ පසුකර ස්පාඤ්ඤයට යන ගමනේදී ඔබ හමුවීමටත්, එසේ මද කලක් ඔබගේ ඇසුරේ ප්‍රීතිය විඳි පසු, එතැන් පටන් මගේ ගමනට ඔබගෙන් උපකාර ලැබීමටත් බලාපොරොත්තු වෙමි.</verse>
				<verse number="25">කෙසේ වුවත් දැන්, යෙරුසලම් ශුද්ධවතුනට සහනාධාර රැගෙන, එහි යමින් සිටිමි.</verse>
				<verse number="26">යෙරුසලම්හි සිටින ශුද්ධවතුන් අතර දිළිඳු අයට සම්මාදමක් දීමට මකිදෝනිය සහ අකාය සභා මනාප වූහ.</verse>
				<verse number="27">ඔවුන් එය කළේ කැමැත්තෙන්ම ය. ඇත්තෙන්ම ඔවුන්ට දීමට ඔවුන් ණය ගැති ය. මන්ද ඔවුන්ගේ ආත්මික ආශිර්වාදවලට අන්‍ය-ජාතීන් පංගුකාර වූවා නම්, තම ද්‍රව්‍යමය ආශිර්වාද ඔවුන් හා බෙදා හදා ගැනීම යුතු ය.</verse>
				<verse number="28">එබැවින් මේ කාරිය නිම වූ පසු, එකතු වූ මේ පල ඔවුන්ට බාර දුන් පසු, මා ස්පාඤ්ඤය බලා යන්නේ, ඒ ගමනේදී ඔබත් බැහැදකිමිනි.</verse>
				<verse number="29">මා ඔබ වෙත එන කල මා එන්නේ, ක්‍රිස්තුස්වහන්සේගේ පූර්ණ ආශිර්වාදය ද රැගෙන බව මම දනිමි.</verse>
				<verse number="30">සහෝදරයිනි, අපගේ ස්වාමියාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසාත්, ආත්මයාණන්වහන්සේගේ ප්‍රේමය නිසාත් මා උදක්ම ඔබෙන් ඉල්ලන්නේ, මා උදෙසා දෙවියන්වහන්සේ වෙත යාච්ඤාවෙන් මා කරන අරගලයේදී මා හා එක් වන ලෙසයි.</verse>
				<verse number="31">එනම්, යුදයේ නො ඇදහිලිවතුන්ගේ අතවරවලින් මා ගලවන පිණිසත්, යෙරුසලම උදෙසා මාගේ උපස්ථානය එහි ශුද්ධවන්තයින් විසින් පිළිගනු ලබන පිණිසත් ය.</verse>
				<verse number="32">එසේ කළ යුත්තේ, දෙවියන්වහන්සේගේ කැමැත්තෙන් ප්‍රීතියෙන් යුතුව ඔබ වෙත එන්නටත්, ඔබගේ සමාගමෙන් මා ප්‍රබෝධ වන පිණිසත් ය.</verse>
				<verse number="33">සාමයේ දෙවියන්වහන්සේ ඔබ හැම සමඟ වන සේක්වා! ආමෙන්.</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">කෙන්ක්‍රයා සභාවේ සේවිකා ෆීබී අප සහෝදරිය මම ඔබට බාර කරමි.</verse>
				<verse number="2">ශුද්ධවතුනට ඔබින ලෙස ස්වාමින්වහන්සේ තුළ ඇය පිළිගන්නා ලෙසත්, අවශ්‍ය වන හැම විටෙක ඇයට උපකාර කරන ලෙසත් ඉල්ලමි. මන්ද ඇය මටත්, තව බොහෝ දෙනකුටත් උදවු උපකාර කළ තැනැත්තියකි.</verse>
				<verse number="3">ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මගේ හවුල් සේවකයින් වූ ප්‍රිස්කා හා අකිලාට ආචාර කරන්න.</verse>
				<verse number="4">මාගේ ජීවිතය උදෙසා තම ගෙල පරදුවට තැබූ ඔවුන්ට මා පමණක් නො ව, අන්‍ය-ජාතික සියලු සභා කෘතඥ වෙති.</verse>
				<verse number="5">ඔවුන්ගේ නිවසේ රැස්වන සභාවටත් ආචාර කරන්න. ආසියාවෙන් ක්‍රිස්තුස්වහන්සේ වෙත හැරුණු ප්‍රථමයා වන මා ප්‍රේමණීය එපිනතස්ට ආචාර කරන්න;</verse>
				<verse number="6">ඔබ උදෙසා වෙහෙසී වැඩ කළ මරියාට ආචාර කරන්න;</verse>
				<verse number="7">මගේ සහෝදර සිරකරුවන් හා මාගේ නෑයින් වන අන්ද්‍රොනිකස් හා ජුනියාටත් ආචාර කරන්න; අපෝස්තුලුවරුන් අතර සුප්‍රසිද්ධ ඔවුන් මට පෙරාතුව ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නවුන් ය.</verse>
				<verse number="8">ස්වාමින්වහන්සේ තුළ මා ප්‍රේමණීය අම්ප්ලියාතස්ට ආචාර කරන්න;</verse>
				<verse number="9">ක්‍රිස්තුස්වහන්සේ තුළ මගේ හවුල් වැඩකරුවා වූ උර්බානස්ටත්, මා ප්‍රේමණීය ස්ටාකිස්ටත් ආචාර කරන්න!</verse>
				<verse number="10">ක්‍රිස්තුස්වහන්සේ තුළ අනුමත අපොල්ලොස්ට ආචාර කරන්න; අරිස්තොබුලස්ගේ පවුලට අයත් වූවන්ට ආචාර කරන්න!</verse>
				<verse number="11">මාගේ නෑයකු වූ හෙරෝදියන්ටත්, ස්වාමින්වහන්සේ තුළ නාර්කිසස්ගේ පවුලේ අයටත් ආචාර කරන්න!</verse>
				<verse number="12">ස්වාමින්වහන්සේ තුළ වැඩ කරන තෘපේනාට හා තෘපෝසාට ද ආචාර කරන්න. ඉතා වෙහෙසී ස්වාමින්වහන්සේ තුළ වැඩ කළ ප්‍රේමණීය පර්සිස්ට ද ආචාර කරන්න.</verse>
				<verse number="13">ස්වාමින්වහන්සේ තුළ තෝරා ගන්නා ලද රූෆස්ටත්, මට ද මවක වූ ඔහුගේ මවටත් ආචාර කරන්න;</verse>
				<verse number="14">අසින්ක්‍රිතස්, ප්ලේගොන්, හෙර්මෙස්, පත්‍රොබස්, හෙර්මාස් හා ඔවුන් සමඟ සිටින සහෝදරයින්ට ආචාර කරන්න.</verse>
				<verse number="15">පිලොලොගස්, ජූලියා, නේරියස් හා ඔහුගේ සොයුරියටත්, ඔලිම්පස් හා ඔවුන් සමඟ සිටින සියලු ශුද්ධවතුනටත් ආචාර කරන්න.</verse>
				<verse number="16">ශුද්ධ සිපාචාරයකින් එකිනෙකාට සමාචාර දක්වන්න. ක්‍රිස්තුස්වහන්සේගේ සියලු සභාවෝ ඔබට ආචාර කරති.</verse>
				<verse number="17">සහෝදරයිනි, ඔබට උගන්වන ලද දහමට පටහැනිව බෙදීම් හා බාධා ඇති කරන්නන් ගැන අවධානයෙන් සිටින ලෙස උදක්ම ඔබෙන් ඉල්ලමි. ඔවුන් මගහරින්න.</verse>
				<verse number="18">එවැනි පුද්ගලයින් සේවය කරන්නේ ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේට නො ව, තමන්ගේම උදරයට ය. ඔවුහු ප්‍රිය තෙපුලින් හා ඉච්චා බසින් අවංකයින් මුළා කරති.</verse>
				<verse number="19">ඔබගේ කීකරුකමේ කීර්තිය හැමටම දැනගන්නට ලැබී ඇත, එබැවින් ඔබ ගැන මම ප්‍රීති වෙමි. එහෙත් ඔබ, හොඳ දෑ ගැන ප්‍රඥාවන්තයින් වී, නපුර ගැන අහිංසකයින් වීම මගේ කැමැත්තයි.</verse>
				<verse number="20">සාමයේ දෙවියන්වහන්සේ ඉතා ඉක්මනින්ම ඔබගේ පා යට සාතන් පොඩිකර දමනු ඇත. යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ කරුණා-අනුග්‍රහය ඔබ සමඟ වේවා!</verse>
				<verse number="21">මගේ හවුල් වැඩකරුවා වූ තිමෝතියස් ඔබට ආචාර කරයි. එසේම ලුසියස්, ජේසන් හා සොසිපාතර් යන මගේ නෑයෝ ඔබට ආචාර කරති.</verse>
				<verse number="22">මෙම ලිපිය ලියන තෙර්තියස් වන මම ද ස්වාමින්වහන්සේ තුළ ඔබට ආචාර කරමි.</verse>
				<verse number="23">මා ඇතුළු මුළු සභාවට නවාතැන් දෙන ගායස් ඔබට ආචාර කරයි. නගර භාණ්ඩාගාරික එරස්තස් හා අප සහෝදර ක්වාටස් ද ඔබට ආචාර කරති.</verse>
				<verse number="24">යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබ හැම සමඟ වේවා! ආමෙන්.</verse>
				<verse number="25">කාලාන්තරයක් තිස්සේ සැඟවී තිබී, දැන් එළිදරවු වී ඇති අබිරහස ලෙස මාගේ ශුභාරංචිය හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ප්‍රකාශ කිරීමට අනුව ඔබ ශක්තිමත් කිරීමට සමත් තැනැන්වහන්සේට,</verse>
				<verse number="26">ඇදහිල්ලේ කීකරුකමට පැමිණෙන පිණිස, සදාතන දෙවියන්වහන්සේගේ ආඥාවට අනුව දිවැස් වැකි ලියවිලි මඟින් සියලු ජාතීන්ගේ ඒ අබිරහස දැන් එළිදරවු කළ</verse>
				<verse number="27">අසමසම ප්‍රඥාවෙන් හෙබි එකම දෙවියන්වහන්සේට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මඟින් සදහට ම තේජෝ මහිම වේවා! ආමෙන්.</verse>
			</chapter>
		</book>
		<book number="46">
			<chapter number="1">
				<verse number="1">දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වීමට කැඳවීම ලද පාවුල් ද අපගේ සහෝදර සොස්තෙනස් ද වෙතින්,</verse>
				<verse number="2">කොරින්තියෙහි දෙවියන්වහන්සේගේ සභාව වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පවිත්‍ර කරන ලදුව, ශුද්ධවන්තයින් වීමට කැඳවීම ලද්දවුන් වූ ඔවුන් හා අප දෙගොල්ලන්ගේ ස්වාමියාණන් වන යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගේ නාමය කියා යාච්ඤා කරන, සියලු තැන්හි වෙසෙන සියල්ලන් වෙතයි.</verse>
				<verse number="3">අපගේ පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගෙන් ද යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගෙන් ද ඔබට අනුග්‍රහ ලැබේවා; සාමය වේවා!</verse>
				<verse number="4">ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබට දෙන ලද අනුග්‍රහය ගැන මගේ දෙවියන්වහන්සේට මම නිරතුරු ස්තුති දෙන්නෙමි.</verse>
				<verse number="5">සියලු කතාවෙහි ද සියලු දැනගැන්මෙහි ද හැම අතින්ම ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබ සමෘද්ධිමත් කරනු ලැබ ඇත්තේ,</verse>
				<verse number="6">ක්‍රිස්තුස්වහන්සේ ගැන වූ සාක්ෂිය ඔබ තුළ තහවුරු වී ඇති අයුරිනි.</verse>
				<verse number="7">එසේ කර ඇත්තේ, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ එළිදරවු වීම ඔබ මග බලා සිටින අතරේ කිසි දීමනාවකින් ඔබට හිඟයක් නො වන පිණිස ය.</verse>
				<verse number="8">යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දවසේ ඔබ දෝෂයෙන් තොරව සිටින පිණිස, උන්වහන්සේ අවසානය දක්වාම ඔබ දරා සිටිනු ඇත.</verse>
				<verse number="9">ස්වකීය පුත්‍රයාණන් වූ යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ සමඟ සහභාගිත්වය තුළට ඔබ කැඳවූ දෙවියන්වහන්සේ විශ්වාසනීය ය.</verse>
				<verse number="10">සහෝදරයිනි, ඔබ හැම එකිනෙකා හා එකඟව, ඔබ අතරේ භේද නැතිව සිටින ලෙස හා එක සිතින් ද එක කල්පනාවෙන් ද එක්සත්ව සිටින ලෙස, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ නාමයෙන් උදක්ම ඔබෙන් ඉල්ලමි.</verse>
				<verse number="11">මා සහෝදරයිනි, ඔබ අතරේ ආරවුල් ඇති වග ක්ලෝයීගේ පවුලේ අය ඔබ ගැන මට දන්වා තිබේ.</verse>
				<verse number="12">මා අදහස් කරන්නේ මෙයයි: “මම පාවුල් අනුගමන කරමි” කියා හෝ, “මම අපොල්ලොස් අනුගමන කරමි” කියා හෝ, “මම කේපස් අනුගමන කරමි” කියා හෝ “මම ක්‍රිස්තුස්වහන්සේ අනුගමන කරමි” කියා හෝ ඔබ එකිනෙකා පවසන බවයි.</verse>
				<verse number="13">ක්‍රිස්තුස්වහන්සේ බෙදන ලද සේක් ද? ඔබ උදෙසා කුරුසියේ ඇණ ගැසුම් ලද්දේ පාවුල් ද? නැතිනම් ඔබ බව්තීස්මය ලද්දේ පාවුල්ගේ නාමයට ද?</verse>
				<verse number="14">ක්‍රිස්පස් හා ගායස් හැර, ඔබ කිසිවකුත් මා බව්තීස්ම කර නැති නිසා, දෙවියන්වහන්සේට ස්තුති කරමි.</verse>
				<verse number="15">එබැවින් මගේ නාමයට බව්තීස්ම ලදැයි කියන්නට ඔබ කිසිවකුටත් නුපුළුවන.</verse>
				<verse number="16">ඔව්, මම ස්තේපනස්ගේ පවුලේ අය ද බව්තීස්ම කළෙමි. ඒ හැර අන් කිසිවකු මා විසින් බව්තීස්ම කළ වග මා දන්නේ නැත.</verse>
				<verse number="17">බව්තීස්ම කිරීමේ කාරියට ක්‍රිස්තුස්වහන්සේ මා යැව්වේ නැත. යැව්වේ ශුභාරංචිය දේශනා කරන්නට ය. ඒ ද ප්‍රඥාවේ චතුර වචනවලින් නො වේ. ඒ, ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියේ බලය ශූන්‍ය නො වන පිණිස ය.</verse>
				<verse number="18">මන්ද, කුරුසියේ පණිවුඩය විනාශ වන්නන්ට අඥානකමකි. එහෙත් ගැලවීම ලබන්නා වූ අපට එය දෙවියන්වහන්සේගේ බලයයි.</verse>
				<verse number="19">මන්ද මෙසේ ලියවී තිබේ: “ප්‍රඥාවතුන්ගේ ප්‍රඥාව මම නිෂ්ප්‍රභා කරමි. බුද්ධිමතුන්ගේ බුද්ධිය මම මොට කරමි.”</verse>
				<verse number="20">ප්‍රඥාවන්තයා කොහේ ද? දහම් පඬිවරයා කොහේ ද? මේ යුගයේ තර්කවාදියා කොහේ ද? දෙවියන්වහන්සේ, ලෝකයාගේ ප්‍රඥාව, අඥානකමට හැරවූවා නො වේ ද?</verse>
				<verse number="21">මන්ද දෙවියන්වහන්සේගේ ප්‍රඥාවේ හැටියට ලෝකයා තම ප්‍රඥාවෙන් දෙවියන්වහන්සේ නො හැඳින්න බැවින්, අප දේශනා කරන අඥානකම මඟින් අදහන්නන් ගැලවීමට දෙවියන්වහන්සේ සතුටු වූ සේක.</verse>
				<verse number="22">මන්ද, යුදෙව්වෝ අනුහස් ලකුණු ඉල්ලති; ග්‍රීක්වරු ප්‍රඥාව සොයති.</verse>
				<verse number="23">එහෙත් අපි, කුරුසියේ ඇණ ගැසුම් ලද ක්‍රිස්තුස්වහන්සේ දේශනා කරන්නෙමු. එහෙත් එය, යුදෙව්වන්ට පැකිළීමේ කඩුල්ලකි; අන්‍ය-ජාතීන්ට අඥානකමකි.</verse>
				<verse number="24">එහෙත් කැඳවීම ලද යුදෙව් හා ග්‍රීක යන දෙගොල්ලටම ක්‍රිස්තුස්වහන්සේ, දෙවියන්වහන්සේගේ බලය හා දෙවියන්වහන්සේගේ ප්‍රඥාව ය.</verse>
				<verse number="25">මන්ද දෙවියන්වහන්සේගේ අඥානකම, මිනිස් ප්‍රඥාව ඉක්ම වූ ප්‍රඥාවකි; දෙවියන්වහන්සේගේ දුබලකම, මිනිස් ප්‍රබලකම් ඉක්ම වූ ප්‍රබලතාවකි.</verse>
				<verse number="26">සහෝදරයිනි, ඔබගේ කැඳවීම ගැන සිතා බලන්න. ලෝක සම්මතයට අනුව ප්‍රඥාවත් බොහෝ දෙනෙක් ඔබ අතරේ නො වූහ. බලවන්තයින් බොහෝ දෙනෙක් හෝ කුලවන්තයින් බොහෝ දෙනෙක් ඔබ අතරේ නො වූහ.</verse>
				<verse number="27">එහෙත්, ප්‍රඥාවතුන් ලජ්ජාවට පත් කරන පිණිස, දෙවියන්වහන්සේ තෝරා ගත්තේ ලෝකයේ අඥාන දෑ ය. බලවතුන් ලජ්ජාවට පත් කරන පිණිස, දෙවියන්වහන්සේ තෝරා ගත්තේ ලෝකයේ දුබල දෑ ය.</verse>
				<verse number="28">දැන් පවතින දෑ නිෂ්ප්‍රභා කරන පිණිස දෙවියන්වහන්සේ තෝරා ගත්තේ, ලෝකයා විසින් පහත් කොට, නීච කොට සලකන එමෙන්ම දැන් නො පවතින දෑ ය.</verse>
				<verse number="29">එසේ කර ඇත්තේ, කිසිවකුට හෝ දෙවියන්වහන්සේ ඉදිරියේ පුරසාරම් දොඩන්නට නො හැකි වන පරිද්දෙනි.</verse>
				<verse number="30">දෙවියන්වහන්සේ කරණකොටගෙන ඔබ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නහු ය. අපගේ ප්‍රඥාවත්, ධර්මිෂ්ඨකමත්, අපගේ පවිත්‍රතාව හා අපගේ මිදීමත් ක්‍රිස්තුස්වහන්සේම බවට පත් කළේ ද දෙවියන්වහන්සේ ය.</verse>
				<verse number="31">එබැවින් ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් පරිදි, “පුරසාරම් කියන්නා, ස්වාමින්වහන්සේ ගැන පුරසාරම් කියත්වා.”</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">සහෝදරයිනි, මා ඔබ වෙත පැමිණි කල, මා ආවේ දෙවියන්වහන්සේගේ සාක්ෂිය, උදාර කථිකත්වයකින් හෝ ප්‍රඥාවකින් ප්‍රකාශ කරමින් නො වේ.</verse>
				<verse number="2">මන්ද ඔබ අතර සිටියදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේත්, උන්වහන්සේ කුරුසිපත් වීමත් මිස, අන් කිසිවක් නො දැන සිටින්නට මම තීරණ කර සිටියෙමි.</verse>
				<verse number="3">මා ඔබ සමඟ සිටියේ දුබලතාවෙන්, බයින් හා අධික තැති ගැන්මෙන් යුතුව ය.</verse>
				<verse number="4">මගේ කතාව හා මගේ පණිවුඩ, ප්‍රඥාවේ සිත් පොලඹවන වචනවලින් නො ව, ආත්මයාණන්ගේ හා බලයේ ක්‍රියාකාරී සාධක මඟින් ප්‍රකාශ වූවේ,</verse>
				<verse number="5">ඔබගේ ඇදහිල්ල මිනිස් ප්‍රඥාවෙන් නො ව, දෙවියන්වහන්සේගේ බලයෙන් පිහිටන පිණිස ය.</verse>
				<verse number="6">එසේ වුව ද පරිණතවූවන් අතරේ අපි ප්‍රඥාව කතා කරන්නෙමු. එය, මේ වත්මන් යුගයේ හෝ මතු අහෝසි වන මේ යුගයේ බලධාරීන්ගේ ප්‍රඥාවක් නො වේ.</verse>
				<verse number="7">අප කතා කරන්නේ අපගේ තේජස උදෙසා දෙවියන්වහන්සේ යුග යුගවලට කලින් නියම කරන ලද දෙවියන්වහන්සේගේ රහසිගත අබිරහස් ප්‍රඥාව ය.</verse>
				<verse number="8">මේ යුගයේ බලධාරීන්ගෙන් කිසිවකු එය වටහා ගත්තේ නැත. මන්ද, ඔවුන් එය වටහා ගත්තා නම්, ඔවුන් තේජසේ ස්වාමින්වහන්සේ කුරුසිපත් කරන්නේ නැත.</verse>
				<verse number="9">එහෙත් ලියවී ඇති පරිදි: “තමන්වහන්සේට ප්‍රේම කරන්නවුන්ට දෙවියන්වහන්සේ පිළියෙල කළ දෑ, කිසි ඇසකට නො පෙනිණි; කිසි කනකට නො ඇසිණි; කිසි සිතකට නො සිතිණි.”</verse>
				<verse number="10">එහෙත් දෙවියන්වහන්සේ මේ දෑ ආත්මයාණන්වහන්සේ මඟින් අපට එළිදරවු කළ සේක. මන්ද, ආත්මයාණන්වහන්සේ සියලු දේම, එනම් දෙවියන්වහන්සේගේ ගැඹුරු කරුණු පවා විමසන සේක.</verse>
				<verse number="11">මනුෂ්‍යාගේ සිතිවිලි ඔහු තුළ ඇති ඔහුගේම ආත්මය මිස අන් කවරෙක් දනිත් ද? එලෙසම දෙවියන්වහන්සේගේ සිතිවිලි උන්වහන්සේගේ ආත්මයාණන් හැර, අන් කිසිවකු දන්නේ නැත.</verse>
				<verse number="12">දැන් අප ලබා ඇත්තේ ලෝකයේ ආත්මය නො වේ. දෙවියන්වහන්සේ ත්‍යාගවත්ව අපට දෙන ලද දෑ වටහා ගන්නා පිණිස, දෙවියන්වහන්සේ වෙතින් වූ ආත්මයාණන් ය.</verse>
				<verse number="13">අප මේ දෑ පවසන්නේ මිනිස් ප්‍රඥාවෙන් උගන්වන ලද වචනවලින් නො ව, ආත්මික වූ දෑ ආත්මික සත්‍යතා හා සසඳමින්, ආත්මයාණන්වහන්සේ විසින් උගන්වන ලද වචනවලිනි.</verse>
				<verse number="14">ජම්මික මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ ආත්මයාණන් වෙතින් එන දෑ පිළිගන්නේ නැත. ඒවා ඔහුට අඥානකම් ය. මන්ද ඒවා ආත්මිකව විමසා බැලිය යුතු වන බැවින්, ඒ දෑ ඔහුට වටහා ගත නො හැක.</verse>
				<verse number="15">ආත්මික තැනැත්තා සියලු දේ විනිශ්චය කරයි. එහෙත් කිසිවකු විසින් ඔහු විනිශ්චය කරනු නො ලබයි.</verse>
				<verse number="16">මන්ද, “උන්වහන්සේට උපදෙස් දෙන පිණිස ස්වාමින්වහන්සේගේ සිත දැන ගත්තේ කවුරු ද?” එහෙත් ක්‍රිස්තුස්වහන්සේගේ සිත අපට තිබේ.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">එහෙත් සහෝදරයිනි, ආත්මික පුද්ගලයනට මෙන් ඔබ ඇමතිය නො හැකිව, මා ඔබ අමතන්නේ මාංසික මිනිසුනට මෙනි; ක්‍රිස්තුස්වහන්සේ තුළ බිළිඳුනට මෙනි.</verse>
				<verse number="2">මා ඔබේ පෝෂණයට දුන්නේ කිරි ය; ගන ආහාර නො වේ. මන්ද ඔබ ඒවාට ලැහැස්තිව සිටියේ නැත. දැන් වුව ද, තවමත් ඔබ ඊට ලැහැස්ති නැත.</verse>
				<verse number="3">ඔබ තවමත් මාංසික ය. ඔබ අතරේ ඊර්ෂ්‍යාවත්, අඩ දබරත් පවතිනවා නම්, තවමත් ඔබ ලෞකිකත්වයේම නො වේ ද? තවමත් ඔබ මනුෂ්‍යාකාරයෙන් හැසිරෙනවා නො වේ ද?</verse>
				<verse number="4">මන්ද කෙනෙක්, “මම පාවුල් අනුගමන කරමි” යි කියා හා තවත් කෙනෙක්, “මම අපොල්ලොස් අනුගමන කරමි” යි කියද්දී ඔබ හුදු මිනිසුන් නො වන්නේ ද?</verse>
				<verse number="5">එහෙම නම් අපොල්ලොස් කවුරු ද? පාවුල් කවුරු ද? එකිනෙකාට ස්වාමින්වහන්සේ පැවරූ කාරියට අනුව, ඇදහිල්ල වෙත ඔබ යොමු කළ සේවකයින් ය.</verse>
				<verse number="6">මම සිටෙවුවෙමි; අපොල්ලොස් වතුර දැමී ය. එහෙත්, එය වැඩෙන්නට සැලසුවේ දෙවියන්වහන්සේ ය.</verse>
				<verse number="7">වැදගත් වන්නේ සිටවූ හෝ වතුර දැමූ හෝ තැනැත්තා නො ව, වැඩීම සැලසූ දෙවියන්වහන්සේ ය.</verse>
				<verse number="8">සිටවූ කෙනාත්, වතුර දමන කෙනාත් එක සමාන ය. ඒ එකිනෙකා තමන් කළ මෙහෙයට සරිලන විපාකය ලබයි.</verse>
				<verse number="9">මන්ද අපි දෙවියන්වහන්සේ සමඟ හවුල් වැඩකරුවෝ ය. දෙවියන්වහන්සේගේ කෙතත්, දෙවියන්වහන්සේගේ ගොඩනැගිල්ලත් ඔබ ය.</verse>
				<verse number="10">දෙවියන්වහන්සේගෙන් මා ලද අනුග්‍රහය අනුව ප්‍රවීණ, ප්‍රධාන ගොඩනැගිලි ඉදිකරන්නකු සේ, මම අත්තිවාරමක් දැමුවෙමි. අන් කෙනෙක් ඒ මත ගොඩ නගයි. ඒ පිට කෙලෙස ගොඩ නගන්නේදැයි එකිනෙකා වගබලා ගනීවා.</verse>
				<verse number="11">මන්ද දමා තිබෙන එක හැර, අන් අත්තිවාරමක් දමන්නට කිසිවකුට නුපුළුවන. ඒ අත්තිවාරම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ය.</verse>
				<verse number="12">යමෙක් මෙම අත්තිවාරම මත රනින්, රිදීයෙන්, මැණික් ගලින්, දැවයෙන්, පන්වලින්, පිදුරුවලින් යන කවර හෝ දෙයකින් ගොඩ නගන කල,</verse>
				<verse number="13">එකිනෙකාගේ කාරිය, එයින් විද්‍යාමාන වෙයි. මන්ද ඒ දවසේ එය අනාවරණ කරන බැවිනි. එය එළිදරවු කරනු ලබන්නේ ගින්නෙනි. කෙනකු කර ඇති කාරිය, ඒ ගින්නෙන් පරීක්ෂා කරනු ලැබේ.</verse>
				<verse number="14">යමකු එම අත්තිවාරම මත ගොඩ නැගූ දෑ නො දැවී පවතී නම්, ඔහු ත්‍යාගයක් ලබයි.</verse>
				<verse number="15">යමකු ගොඩ නැගූ දෑ දැවී ගියේ නම්, ඔහු අලාභය දරයි. එහෙත් ඔහුට ගැලවීම ලැබේ. එහෙත් ගින්නෙන් බේරී ආ අයකු සේ පමණකි.</verse>
				<verse number="16">දෙවියන්වහන්සේගේ මාලිගය ඔබ වගත්, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් ඔබ තුළ වාසය කරන වගත් ඔබ දන්නේ නැති ද?</verse>
				<verse number="17">යමෙක් දෙවියන්වහන්සේගේ මාලිගය විනාශ කරයි නම්, දෙවියන්වහන්සේ ඒ අය විනාශ කරන සේක. මන්ද දෙවියන්වහන්සේගේ මාලිගය ශුද්ධ ය. ඒ දේව මාලිගය ඔබ ය.</verse>
				<verse number="18">කිසිවෙක් තමාම රවටා නො ගනීවා. ඔබ අතරේ යමෙක්, තමා මේ යුගයේ ප්‍රඥාවතෙකැයි සිතයි නම්, ප්‍රඥාවත් වන පිණිස, ඔහු අඥානයකු බවට පත් වෙත්වා.</verse>
				<verse number="19">මන්ද මේ ලෝකයේ ප්‍රඥාව දෙවියන්වහන්සේ ඉදිරියේ අඥානකමකි. මන්ද, “උන්වහන්සේ ප්‍රඥාවන්තයින් ඔවුන්ගේම උපායවලින් හසුකර ගන්නා සේකැ” යි ලියා තිබේ.</verse>
				<verse number="20">තවද, “ප්‍රඥාවතුන්ගේ සිතිවිලි නිස්සාර බව ස්වාමින්වහන්සේ දන්නා සේකැ” යි ද ලියා තිබේ.</verse>
				<verse number="21">එබැවින් යම් කෙනෙක් මනුෂ්‍යයන් ගැන පාරට්ටු නො කරත්වා. මන්ද සියලු දේම ඔබගේ ය.</verse>
				<verse number="22">පාවුල් හෝ අපොල්ලොස් හෝ කේපස් හෝ වේවා, ලෝකය හෝ ජීවනය හෝ මරණය හෝ වේවා, වත්මන හෝ අනාගතය හෝ වේවා, ඒ සියල්ල ඔබගේ ය.</verse>
				<verse number="23">ඔබ ක්‍රිස්තුස්වහන්සේගේ ය; ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ ය.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">අප ගණන් ගනු ලැබිය යුත්තේ ක්‍රිස්තුස්වහන්සේගේ සේවකයින් හා දෙවියන්වහන්සේගේ අබිරහස් පිළිබඳ භාරකරුවන් වශයෙනි.</verse>
				<verse number="2">තවද භාරකරුවන් විශ්වාසවන්ත වීම, අවශ්‍යයෙන්ම විය යුත්තකි.</verse>
				<verse number="3">එහෙත් ඔබ හෝ මිනිසුන්ගේ යම් අධිකරණයක් මඟින් හෝ මා විනිශ්චය කරනු ලැබීම, මට එතරම් දෙයක් නො වේ. ඇත්තෙන්ම මා විසින්ම මා විනිශ්චය කරගන්නේ නැත.</verse>
				<verse number="4">මටම එරෙහි කිසිවක් ඇති වගක් මගේ හෘදය සාක්ෂියට නො දැනේ; එනිසාම මා නිදොස් වන්නේ ද නැත. මා විනිශ්චය කරන්නේ ස්වාමින්වහන්සේ ය.</verse>
				<verse number="5">එබැවින් කාලයට පෙරාතුව, ස්වාමින්වහන්සේගේ පැමිණීමට පෙරාතුව විනිශ්චය ප්‍රකාශ නො කරන්න. දැන් අන්ධකාරයේ සැඟවුණු දෑ, උන්වහන්සේ එළියට ගෙනැවිත්, හදවතේ අරමුණු එළිදරවු කරන සේක. එවිට තමාට හිමි පැසසුම දෙවියන්වහන්සේගෙන් හැම කෙනකුම ලබනු ඇත.</verse>
				<verse number="6">සහෝදරයිනි, අපොල්ලොස් හා මා අදාළ කරමින්, මා මේ සියල්ල ඔබගේ යහපත තකා ලීවේ, ලියා තිබෙන දේ ඉක්මවා නො යන පිණිස, ඔබ අපගෙන් ඉගෙන ගන්නා පිණිස ය. කෙනකුට එරෙහිව වෙනත් කෙනකු උදෙසා ඔබ උඩඟු නො වන පිණිස ය.</verse>
				<verse number="7">මන්ද ඔබ තුළ යම් වෙනසක් දකින්නේ කවුරු ද? ඔබට දෙන ලද දේ හැරෙන්නට ඔබට ඇත්තේ මොනවා ද? එසේ එය ඔබට දෙන ලද්දේ නම්, එය නො ලද සේ පුරසාරම් දොඩන්නේ ඇයි?</verse>
				<verse number="8">ඔබට අවශ්‍ය සියල්ල දැනටම ඔබට ලැබිලා! දැනටමත් ඔබ ධනවත් වෙලා! අප නො මැතිව ඔබ රජවරුන් බවට පත් වෙලා! ඔබ රජකම් කළෝ නම් අපටත් ඔබ සමඟින් රජකම් කරන්නට තිබුණි!</verse>
				<verse number="9">මන්ද මා සිතන්නේ, දෙවියන්වහන්සේ, අපෝස්තුලුවරුන් වන අප මරණ තීන්දුව ලද මිනිසුන් සේ අන්තිමයන් කොට දක්වන්නේය කියායි; මන්ද අපි, ලෝකයට ද දේව දූතයින්ට හා මිනිසුන්ට ද ප්‍රදර්ශනයක්ව සිටින්නෙමු.</verse>
				<verse number="10">අපි ක්‍රිස්තුස්වහන්සේ උදෙසා අඥානයෝ ය; ඔබ ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රඥාවත්හු ය. අප දුබලයින් ය; එහෙත් ඔබ ප්‍රබලයින් ය. ඔබ ගෞරවයෙන් යුතුව සැලකුම් ලබන්නන් ය; එහෙත් අපට අවමානය ය.</verse>
				<verse number="11">මේ වත්මන් පැය දක්වාත් අපට සාගින්න ය; පිපාසය ය. අප අඳින්නේ දුප්පත් අයුරිනි. පහර කෑමට ලක්ව, ගෙයක්-දොරක් නැතිව සිටින්නෙමු;</verse>
				<verse number="12">අපි වෙහෙස වී, අපේම දෑතින් වැඩ කරන්නෙමු. අපට ශාප කරන කල, අපි සෙත් පතන්නෙමු. හිංසා කරන කල, ඒවා විඳ දරා ගන්නෙමු.</verse>
				<verse number="13">අපට නින්දා කරන කල, අපි ආයාචනා කරන්නෙමු. අප පොළොවේ කසළ සේ ද හැම දේකම රොඩු සේ ද වීමු; දැනටත් එලෙස ය.</verse>
				<verse number="14">මා මෙසේ ලියන්නේ ඔබ ලජ්ජාවට පත් කරන්නට නො වේ. මා ප්‍රේමණීය දරුවනට ඔවා දෙන්නා සේ සලකමිනි.</verse>
				<verse number="15">මන්ද ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබට උපදේශකයින් දස දහසක් සිටිය ද, ඔබට පියවරුන් බොහෝ දෙනකු නැත. මන්ද ශුභාරංචිය මඟින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මම ඔබගේ පියා බවට පත් වුණෙමි.</verse>
				<verse number="16">එබැවින් මා ආදර්ශයට ගන්නා මෙන් උදක්ම ඔබෙන් ඉල්ලමි.</verse>
				<verse number="17">හැම තැන හැම සභාවකම මා උගන්වන පරිදි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ මා අනුගමන කරන ප්‍රතිපත්ති ඔබට නැවත මතක් කර දීමට ස්වාමින්වහන්සේ තුළ මා ප්‍රේමණීය, විශ්වාසවන්ත දරුවා වන තිමෝති මා ඔබ වෙත එවන්නේ එබැවිනි.</verse>
				<verse number="18">මා ඔබ වෙත නො එතැයි සලකා ඇතැම් අය උඩඟුව සිටිති.</verse>
				<verse number="19">එහෙත් ස්වාමින්වහන්සේ කැමති වන සේක් නම්, ඉතා ඉක්මනින් මම ඔබ වෙත එන්නෙමි. ඇවිත්, ඒ අහංකාර මිනිසුන්ගේ කතා නො ව, ඔවුන්ගේ බලය සොයා දැන ගන්නෙමි.</verse>
				<verse number="20">මන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය සමන්විත වන්නේ කතාවෙන් නො ව බලයෙනි.</verse>
				<verse number="21">ඔබ කැමති මින් කුමකට ද? ඉපලක් ගෙන මා ඔබ වෙත එනවාට ද? නැතහොත් ප්‍රේමයෙන් හා මුදු ගුණ හැඟීමෙන් ඔබ වෙත එනවාට ද?</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">මිසදිටුවන් අතරේ පවා නො ඉවසන අන්දමේ ලිංගික අනාචාරයක් ඔබ අතරේ සිදුවන වග සැබවින් ම ආරංචි වී ඇත. ඒ, කෙනෙක්, තම පියාගේ භාර්යාව තියාගෙන සිටින වගයි.</verse>
				<verse number="2">එහෙත් නුඹලා උදාරමින්! කළ යුතුව ඇත්තේ ශෝක වීම නො වේ ද? මේ දේ කළ පුද්ගලයා ඔබ අතරෙන් පහකර දමනු ලැබේවා.</verse>
				<verse number="3">ගතින් මා ඔබ හමුවේ නො වූවත්, ආත්මයෙන් ඔබ සමඟ සිටිමින්, මා ඒ දේ කළ තැනැත්තාට දැනටමත් විනිශ්චය ප්‍රකාශ කර ඇත්තෙමි.</verse>
				<verse number="4">යේසුස් ස්වාමින්වහන්සේගේ නාමයෙන් ඔබ එක්රැස් වන කල, මා ද මාගේ ආත්මයෙන් ඔබ සමඟ සිටියදී, යේසුස් අප ස්වාමින්වහන්සේගේ බලයෙන් යුතුව</verse>
				<verse number="5">ඔබ, ඒ පුද්ගලයාගේ ශරීරය විනාශ වීමට සාතන්ට බාර දිය යුත්තේ, ස්වාමින්වහන්සේගේ දවසේදී ඔහුගේ ආත්මය ගැලවෙන පිණිස ය.</verse>
				<verse number="6">ඔබේ පුරසාරම හොඳ නැත. මුහුන් ඇබින්දකින් මුළු පිටි පිඩ පිපෙන බව ඔබ දන්නේ නැති ද?</verse>
				<verse number="7">ඇත්තෙන්ම ඔබ නුමුහුන් බැවින්, අලුත් පිටි පිඩක් වන පිණිස පරණ මුහුන් බැහැර කරන්න. මන්ද අපගේ පාස්කු බැටළු පැටවාණන් වන ක්‍රිස්තුස්වහන්සේ, යාග කරනු ලැබ ඇත.</verse>
				<verse number="8">එබැවින් ද්වේශයේ හා දුෂ්ටකමේ පැරණි මුහුන්වලින් නො ව, අව්‍යාජත්වයේ හා සත්‍යයේ නුමුහුන් රොටියෙන් පාස්කු මංගල්‍යය සමරමු.</verse>
				<verse number="9">ලිංගිකව අනාචාරයේ ගැලෙන්නවුන් හා ඇසුරු නො කරන ලෙස මගේ ලිපියෙන් මම ඔබට ලියා ඇත්තෙමි.</verse>
				<verse number="10">ඉන් අදහස් කළේ, මේ ලෝකයේ ලිංගික අනාචාරීන් හෝ තණ්හාධිකයින් හා වංචනිකයින් හෝ පිළිම වඳින්නන් වෙතින් මුළුමනින් වෙන්ව සිටීම නො වේ. එසේ කිරීමට ඔබ මෙලොවින් ඉවත් විය යුතු වෙයි.</verse>
				<verse number="11">එහෙත් දැන් මා මේ ඔබට ලියන්නේ, ලිංගික අනාචාරයෙහි, තණ්හාවෙහි වරදකරුවකු වන කෙනකු හෝ පිළිම වඳින්නකු, අපහාසිකයකු, බේබද්දකු හෝ වංචනිකයකු වන සහෝදර නාමය දරන කිසිවකු සමඟ ඇසුරක් නො පවත්වන ලෙස හා එවැන්නකු සමඟ ආහාර ගැනීම නො කළ යුතු ය කියා ය.</verse>
				<verse number="12">මන්ද පිටස්තර අය විනිශ්චය කිරීමට මට ඇති කාරිය කුමක් ද? ඔබ විනිශ්චය කළ යුතුව ඇත්තේ, ඇතුළත සිටින්නන් නො වේ ද?</verse>
				<verse number="13">දෙවියන්වහන්සේ පිටත සිටින්නන් විනිශ්චය කරන සේක. “ඒ දුෂ්ටයා ඔබ අතරින් නෙරපා දමන්න.”</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">ඔබෙන් යමකුට, තවත් කෙනකුට එරෙහිව යම් ආරවුලක් ඇත්නම්, ශුද්ධවතුන් වෙත නො ව, අධර්මිෂ්ඨයින් වෙත යන්නට බය නැද්ද?</verse>
				<verse number="2">ශුද්ධවතුන් ලෝකය විනිශ්චය කරන වග ඔබ දන්නේ නැති ද? ලෝකය විනිශ්චය කරන්නට සිටින ඔබට මේ සුළු ආරවුලක් විසඳීමේ සුදුසුකමක් නැති ද?</verse>
				<verse number="3">අප විසින් දේව දූතයන් ද විනිශ්චය කරනු ලබන බව ඔබ දන්නේ නැති ද? එසේ නම් මේ ජීවිතයට අදාළ කරුණු ගැන කියනුම කවරේ ද?</verse>
				<verse number="4">එබැවින් එබඳු කාරණාවලදී සභාව විසින් ගණන් නො ගන්නා අය වෙත ඒවා ගෙන යන්නේ ඇයි?</verse>
				<verse number="5">ලජ්ජා සහගතයි! සහෝදරයින් අතරේ ආරවුලක් විසඳීමට ප්‍රඥාවත් එක්කෙනෙක්වත් ඔබ අතරේ නො විය හැකි ද?</verse>
				<verse number="6">එහෙත් සහෝදරයෙක් සහෝදරයකුට එරෙහිව නො ඇදහිලිකාරයින් ඉදිරියේ නඩු මගට බසී!</verse>
				<verse number="7">එකිනෙකා සමඟ නඩුහබ ඇති කර ගැනීමෙන් පෙනී යන්නේ, දැනටම ඔබට සම්පූර්ණයෙන් පරාජයක්ය කියායි. අයුක්තිය විඳීම ඊට වඩා හොඳ නැද්ද? වංචාවට හසුවීම ඊට වඩා හොඳ නැද්ද?</verse>
				<verse number="8">ඒ වෙනුවට ඔබම අයුක්තිය කරයි; වංචා කරයි. ඒ, තමන්ගේම සහෝදරයින්ට ය.</verse>
				<verse number="9">අධර්මිෂ්ඨයින් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුම කරගන්නේ නැති වග, ඔබ දන්නේ නැති ද? නො රැවටෙන්න. ලිංගික අපචාරීන්, පිළිම වඳින්නන් හෝ පරදාර සේවනයේ යෙදෙන්නන්, සමලිංගික සේවනයේ යෙදෙන දෙගොල්ලම හෝ</verse>
				<verse number="10">සොරුන්, තණ්හාධිකයින්, බේබද්දන්, අපවාද නගන්නන් හෝ කොල්ලකරුවන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ උරුමය ලබන්නේ නැත.</verse>
				<verse number="11">ඔබ ඇතැම්හු එවැන්නන්ව සිටියහ. එහෙත්, යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගේ නාමයෙන්, අපගේ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මඟින් ඔබ සෝදනු ලැබුවහු ය; පවිත්‍ර කරනු ලැබුවහු ය; නිදොස් කරනු ලැබුවහු ය.</verse>
				<verse number="12">“හැම දෙයක් ගැනම මට නිදහස තිබේ.” එහෙත් හැම දෙයක්ම පලදායි නැත. “හැම දෙයක් ගැනම මට නිදහස තිබේ.” එහෙත් කිසිවකට මා ගැතිකර ගත නො හැක.</verse>
				<verse number="13">“ආහාර, උදරය සඳහා ය; උදරය, ආහාර සඳහා ය.” එහෙත් දෙවියන්වහන්සේ ඒ දෙකම, ඒකත්-මේකත් විනාශ කරන සේක. ශරීරය ලිංගික අනාචාරය සඳහා නො ව, ස්වාමින්වහන්සේ සඳහා ය. ස්වාමින්වහන්සේ ද ශරීරය සඳහා ය.</verse>
				<verse number="14">දෙවියන්වහන්සේ යේසුස් ස්වාමින්වහන්සේ නැගිට වූ සේක්, අපත් තමන්වහන්සේගේ බලයෙන් නැගිටුවන සේක.</verse>
				<verse number="15">ඔබගේ සිරුරු ක්‍රිස්තුස්වහන්සේගේ අවයව බව දන්නේ නැති ද? එසේ නම් මම ක්‍රිස්තුස්වහන්සේගේ අවයව ගෙන, වෙසඟනකගේ අවයව කරම් ද? කොහෙත්ම නැත.</verse>
				<verse number="16">වෙසඟනක සමඟ එක්වන්නා, ඇය හා එක ශරීරයක් වන වග ඔබ දන්නේ නැති ද? “දෙදෙනා එක මාංසයක් වෙති” යි ලියවිල්ල දක්වයි.</verse>
				<verse number="17">එහෙත් ස්වාමින්වහන්සේ හා සමඟ එක්වන්නා, උන්වහන්සේ සමඟ එක ආත්මයක් බවට පත් වේ.</verse>
				<verse number="18">ලිංගික අනාචාරයෙන් පැන දුවන්න. මිනිසා කරන අන් හැම පාපයක්ම කරනුයේ ශරීරයෙන් පිටස්තරව ය. එහෙත් ලිංගික අනාචාරකම් කරන්නා, තමන්ගේම ශරීරයට එරෙහිව පව් කරයි.</verse>
				<verse number="19">දෙවියන්වහන්සේගෙන් ඔබ ලද, ඔබ තුළ වෙසෙන ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාලිගාව, ඔබේ ශරීරය බව ඔබ දන්නේ නැති ද? ඔබ, ඔබටම අයිති නැත.</verse>
				<verse number="20">මිලයක් ගෙවීමෙන්, ඔබ මිලයට ගනු ලැබ ඇත. එබැවින් ඔබගේ ශරීරය තුළ දෙවියන්වහන්සේ මහිමයට පමුණුවන්න.</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">දැන්, ඔබ ලියා ඇති කරුණු ගැන සිත් යොමමු: “ස්ත්‍රියක සමඟ ලිංගික ඇසුරක් නැතිව සිටීම මිනිසකුට හොඳ ය.”</verse>
				<verse number="2">එහෙත්, ලිංගික අනාචාරයේ පරීක්ෂාව හේතු කොට හැම මිනිසෙක්ම තමාට භාර්යාවක ඇතිව හා හැම ස්ත්‍රියකම තමාට ස්වාමි පුරුෂයකු ඇතිව සිටිය යුතු ය.</verse>
				<verse number="3">ස්වාමි පුරුෂයා සිය භාර්යාවට විවාහ යුතුකම් ඉටු කළ යුතු අතර, භාර්යාව සිය ස්වාමි පුරුෂයාට එලෙසම කළ යුතු ය.</verse>
				<verse number="4">භාර්යාවකට තම ශරීරය ගැන ආධිපත්‍යය නැත; ඇත්තේ ඇගේ ස්වාමි පුරුෂයාට ය. එලෙස ස්වාමි පුරුෂයාට ද තම ශරීරය කෙරේ ආධිපත්‍යය නැත; ඇත්තේ ඔහුගේ භාර්යාවට ය.</verse>
				<verse number="5">දෙදෙනාගේ එකඟතාවයෙන් මද කලකට යාච්ඤාවට කැප වන පිණිස මිස, එකිනෙකාගෙන් වෙන්ව නො සිටින්න; ඉන්පසු යළි එක් විය යුත්තේ, ආත්ම සංයමයේ ඔබගේ දුබලතා හේතුවෙන්, සාතන් ඔබ පරීක්ෂාවට ඇද දමනු නො ලබන පිණිස ය.</verse>
				<verse number="6">මා මෙය කියන්නේ අවසරයක් වශයෙන් මිස, නියෝගයක් ලෙස නො වේ;</verse>
				<verse number="7">හැම කෙනකුම මා සිටින ලෙස සිටී නම් කැමැත්තෙමි. එහෙත් එක් ලෙසකින් හෝ වෙනත් ලෙසකින් එක් එක් කෙනාට දෙවියන්වහන්සේ වෙතින් දීමනාවක් ඇත.</verse>
				<verse number="8">අවිවාහකයින්ටත්, වැන්දඹු අයටත් මා කියන්නේ, මා වගේ තනිකඩව සිටීම ඔවුන්ට හොඳ වග ය.</verse>
				<verse number="9">එහෙත් ඔවුනට තම හැඟීම් පාලනය කර ගත නො හැකි නම්, විවාහ වීම සුදුසු ය. මන්ද රාගයෙන් දැවෙනවාට වඩා විවාහ වීම හොඳ ය.</verse>
				<verse number="10">විවාහකයනට මම මෙසේ අණ කරමි. (මෙය මාගෙන් නො ව, ස්වාමින්වහන්සේගෙන් ය) භාර්යාවක් තම ස්වාමි පුරුෂයාගෙන් වෙන් නො විය යුතු ය.</verse>
				<verse number="11">ඇය වෙන්ව ගියහොත් ඇය අවිවාහකව සිටිය යුතු ය. නැතහොත් තම ස්වාමි පුරුෂයා හා යළි සමඟි විය යුතු ය. ස්වාමි පුරුෂයා ද තම භාර්යාව දික්කසාද නො කළ යුතු ය.</verse>
				<verse number="12">සෙසු අයට මම මෙසේ කියමි, (ස්වාමින්වහන්සේ නො ව, මා ය). යම් සහෝදරයකුට ඇදහිලිවන්තියක නො වූ භාර්යාවක සිටී නම්, ඔහු හා විසීමට ඇය මනාප නම්, ඔහු ඇය දික්කසාද නො කළ යුතු ය.</verse>
				<verse number="13">යම් ස්ත්‍රියකට ඇදහිලිවන්තයකු නො වූ ස්වාමි පුරුෂයකු සිටී නම්, ඇය හා විසීමට ඔහු මනාප නම්, ඇය ඔහුගෙන් දික්කසාද නො විය යුතු ය.</verse>
				<verse number="14">මන්ද ඇදහිලිවතකු නො වූ ස්වාමි පුරුෂයා, ඔහුගේ භාර්යාව නිසා ශුද්ධවත් බවට පත් කෙරේ. ඇදහිලිවන්තියක නො වූ භාර්යාව ඇගේ ස්වාමි පුරුෂයා නිසා ශුද්ධවත් බවට පත් කෙරේ. එසේ නො වී නම් ඔවුන්ගේ දරුවන් අපවිත්‍ර වනු ඇත; එහෙත් ඔවුන් ශුද්ධ ය.</verse>
				<verse number="15">එහෙත්, නො ඇදහිලිකාර පක්ෂය වෙන්ව යතොත්, එසේ වුණා වේ. සහෝදරයා හෝ සහෝදරිය බැඳීමකට යටත් නැත. දෙවියන්වහන්සේ අප කැඳවා ඇත්තේ සාමයට ය.</verse>
				<verse number="16">එම්බා භාර්යාව, ඔබ ඔබගේ ස්වාමි පුරුෂයා ගලවා ගනීදැයි දන්නේ කොහොම ද? එම්බා ස්වාමි පුරුෂය, ඔබ ඔබගේ භාර්යාව ගලවා ගනීදැයි දන්නේ කොහොම ද?</verse>
				<verse number="17">හැම කෙනකුම ස්වාමින්වහන්සේ එකිනෙකාට පැවරූ ප්‍රකාරයට, තමාට දෙවියන්වහන්සේගේ කැඳවීමට අනුව, ජීවිතය ගෙන යා යුතු ය. සියලු සභා තුළ මාගේ නියෝගය මෙයයි.</verse>
				<verse number="18">යමෙක් කැඳවීම ලබන කල, චර්මඡේදිතව සිටියේ ද, ඔහු චර්ම-ඡේදන ලකුණු ඉවත් කර ගැනීමට නො සොයත්වා. යමෙක් කැඳවීම ලබන කල, චර්මඡේදිතව නො සිටියේ ද, ඔහු චර්මඡේද වන්නට නො සොයත්වා.</verse>
				<verse number="19">මන්ද ගණන් ගැනෙන්නේ චර්ම-ඡේදනය හෝ චර්ම අඡේදනය හෝ නො ව, දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීම ය.</verse>
				<verse number="20">හැම කෙනෙක්ම තමන් කැඳවීම ලබන විට සිටි තත්වයෙහිම පැවතිය යුතු ය.</verse>
				<verse number="21">කැඳවීම ලබන කල, ඔබ වහලකුව සිටියේ ද? ඒ ගැන කරදර නො වන්න. එහෙත්, නිදහස ලබා ගත හැකි නම්, ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න.</verse>
				<verse number="22">මන්ද වහලකු ලෙස ස්වාමින්වහන්සේ තුළ කැඳවීම ලද තැනැත්තා, ස්වාමින්වහන්සේගේ නිදහස් මිනිසෙකි. එලෙසම නිදහස් මිනිසකුව සිටියදී කැඳවීම ලද තැනැත්තා, ක්‍රිස්තුස්වහන්සේගේ වහලෙකි.</verse>
				<verse number="23">මිලයක් ගෙවා, ඔබ මිලයට ගනු ලැබ ඇත. මිනිසුන්ගේ වහලුන් නො වන්න.</verse>
				<verse number="24">සහෝදරයිනි, එබැවින් තමන් කැඳවීම ලද්දේ කවර තත්වයක සිටියදී ද, දෙවියන්වහන්සේ සමඟ ඔහු එහිම පැවත සිටීවා.</verse>
				<verse number="25">දැන්, කන්‍යාවන් පිළිබඳව: මේ සම්බන්ධ අණක් ස්වාමින්වහන්සේගෙන් මට ලැබී නැත. එහෙත්, ස්වාමින්වහන්සේගේ දයාව හේතු කොට විශ්වාසය දිනූ කෙනකු වශයෙන් මම මගේ තීරණය දන්වමි.</verse>
				<verse number="26">වත්මන් අර්බුදකාරී තත්වය හමුවේ, කෙනෙක් දැන් සිටින අයුරින්ම සිටීම යෙහෙකැයි මම සිතමි.</verse>
				<verse number="27">ඔබ භාර්යාවකට බැඳී සිටී ද? නිදහස් වන්නට නො සොයන්න. ඔබ භාර්යාවකගෙන් නිදහස් ද? භාර්යාවක නො සොයන්න.</verse>
				<verse number="28">එහෙත් ඔබ විවාහ වුවත්, එය පාපයක් නො වේ. තවද කන්‍යා ස්ත්‍රියක් විවාහ වුවත්, එය පාපයක් නො වේ. එහෙත් විවාහ වන්නන්ට ලෞකික කරදර ඇති වේ. මා කරන්නේ ඔබ ඉන් වැළැක්වීමයි.</verse>
				<verse number="29">සහෝදරයිනි, මා අදහස් කරන්නේ මෙයයි. ඉතිරි වී ඇති කාලය කෙටි ය. භාර්යාවන් ඇති අය මෙතැන් පටන් භාර්යාවන් නැත්තන් මෙන් වෙසෙත්වා.</verse>
				<verse number="30">ශෝක වන්නන්, ශෝක නො වූවන් මෙන් ද ප්‍රීති වන්නන්, ප්‍රීති නො වූවන් මෙන් ද මිලයට ගන්නන්, අයිති නැත්තන් මෙන් ද</verse>
				<verse number="31">ලෝකයේ සැප විඳින්නන්, ඒවායේ නො ගැලෙන්නන් මෙන් ද වෙත්වා. මන්ද මේ වත්මන් ලෝකය පහ වී යන්නේ ය.</verse>
				<verse number="32">ඔබ කනස්සලු වීමෙන් තොරව සිටීම මගේ කැමැත්තයි. අවිවාහක මිනිසා, ස්වාමින්වහන්සේ ප්‍රසන්න කරන්නේ කෙසේදැයි ස්වාමින්වහන්සේගේ කටයුතු ගැන සැලකිලිමත් වෙයි.</verse>
				<verse number="33">එහෙත්, විවාහක මිනිසා, තම භාර්යාව සතුටු කරන්නේ කෙසේදැයි ලෞකික දෑ ගැන කනස්සලු වෙයි.</verse>
				<verse number="34">ඔහුගේ උනන්දුව දෙපිල බෙදෙයි. අවිවාහක ස්ත්‍රිය නැතහොත් කන්‍යාවිය ශාරීරිකව හා ආත්මිකව ශුද්ධව සිටින්නේ කෙසේදැයි ස්වාමින්වහන්සේගේ කටයුතු ගැන සැලකිලිමත් වන්නී ය. එහෙත් විවාහක ස්ත්‍රිය තම ස්වාමි පුරුෂයා සතුටු කරන්නේ කෙසේදැයි ලෞකික දෑ ගැන කනස්සලු වන්නී ය.</verse>
				<verse number="35">මා මෙසේ කියන්නේ ඔබේම යහපත පිණිස මිස, ඔබට තහංචි පනවන්නට නො වේ; වඩාත් නිසි ලෙස කටයුතු කරමින්, ස්වාමින්වහන්සේට නො බෙදුණු කැපවීමකින් පවතින පිණිස ය.</verse>
				<verse number="36">තමා විවා ගිවිසි කන්‍යාවිය සම්බන්ධව තමා නුසුදුසු ලෙස ක්‍රියා කර ඇතැයි යමෙක් සිතත් නම්, විවාහයට නිසි ඇගේ කල වයසත් පසුවී යේ නම්, ඇය ආවාහ කර ගත යුතු යයි ඔහුට හැඟේ නම්, ඔහු කැමති ලෙස කරත්වා. එය පාපයක් නො වේ.</verse>
				<verse number="37">එහෙත්, තම හදවත නො වෙනස්ව තබාගෙන, කිසි බලපෑමක් ද නැතිව, තම ආශා හික්මවාගෙන, විවා ගිවිසි කන්‍යා-තරුණිය හා එක් නො වීමට හදින් අදිටන් කොට, ඒ ගැන ස්ථිර නිගමනයකට පැමිණි තැනැත්තා කරන්නේ ද හරි දෙයයි.</verse>
				<verse number="38">මෙසේ තම කන්‍යාවිය ආවාහ කරගන්නා හරි දේ කරයි. එසේ විවාහ වීමෙන් වැළකී සිටින්නා වඩා හරි දේ කරයි.</verse>
				<verse number="39">භාර්යාවක් ඇගේ ස්වාමි පුරුෂයා ජීවත්ව සිටින තාක් කල් ඔහුට බැඳී සිටින්නී ය. එහෙත් ඇගේ ස්වාමි පුරුෂයා මළොත්, තමන් කැමති කෙනකු හා යළි විවාහ වීමට ඇයට නිදහස ඇත. එහෙත් ස්වාමින්වහන්සේ තුළ පමණි.</verse>
				<verse number="40">එහෙත් ඇය සිටින ලෙස සිටීම වඩා භාග්‍යවත් බවයි මගේ අදහස. මට ද දෙවියන්වහන්සේගේ ආත්මයාණන් ඇතැයි මම සිතමි.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">දැන්, පිළිම රූපවලට පිදූ ආහාර පිළිබඳව: “අප හැමට දැනුම ඇති” වග අපි දනිමු. මෙම “දැනුම” අහංකාරය උපදවයි. එහෙත් ප්‍රේමය, අභිවෘද්ධිය සලසයි.</verse>
				<verse number="2">තමා යමක් දනිතැයි යමෙක් සිතා සිටී නම්, ඔහු දැනගත යුතු ලෙස තවමත් දැනගෙන නැත.</verse>
				<verse number="3">එහෙත් යමෙක් දෙවියන්වහන්සේට ප්‍රේම කරයි නම්, උන්වහන්සේ විසින් ඔහු දැනගනු ලබයි.</verse>
				<verse number="4">එබැවින්, පිළිමවලට පිදූ ආහාර වැළඳීම පිළිබඳව: “පිළිමයකට සැබෑ පැවැත්මක් නැති” වගත්, “එක් කෙනෙක් මිස, වෙනත් දෙවියන්වහන්සේ කෙනකු නැති” වගත් අපි දනිමු.</verse>
				<verse number="5">ස්වර්ගයේ හෝ පොළොවේ දෙවිවරුන් ය කියනු ලබන්නන් සිටියත්, සැබවින් ම කියතහොත් එවැනි “දෙවිවරුන්” හා “ස්වාමිවරුන්” අපමණවත් ඇත,</verse>
				<verse number="6">අපට සිටින එකම දෙවියන්වහන්සේ, පියාණන්වහන්සේ ය. හැම දේම උන්වහන්සේගෙන් ය. අපගේ පැවැත්ම උන්වහන්සේ උදෙසා ය. එසේම, අපට සිටින එකම ස්වාමියාණෝ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ය. හැම දේම උන්වහන්සේ මඟින් ය; අප පවතින්නේ ද උන්වහන්සේ මඟින් ය.</verse>
				<verse number="7">කෙසේ වෙතත්, හැමටම මේ දැනුම නැත. ඇතමකු පිළිම සමඟ පෙර තිබූ සබඳතා නිසා, ආහාර ගන්නේ සැබවින් ඒවා දේවතා පිදේනියයි සලකා ය. ඔවුන්ගේ හෘදය සාක්ෂිය දුර්වල බැවින්, එය දූෂිත වේ.</verse>
				<verse number="8">ආහාර දෙවියන්වහන්සේ වෙත අප ළං කරන්නේ නැත. නො කෑවොත් අපට අවැඩක් වන්නේ නැත; කෑවොත් වැඩි සෙතක් වන්නේ ද නැත.</verse>
				<verse number="9">කෙසේ වෙතත් ඔබේ මේ නිදහස, යම් හෙයකින් දුබලයින්ට බාධාවක් නො වන්නට වගබලා ගන්න.</verse>
				<verse number="10">මන්ද දැනුම් ඇති ඔබ, යම් දේවාලයකදී කන අයුරු දකින කෙනෙක්, ඔහුගේ හෘදය සාක්ෂිය දුබල වුව ද දේවතා පිදේනියක් කෑමට එයින් ඔහුට අනුබල නො දේ ද?</verse>
				<verse number="11">එසේ වුවහොත්, ඒ සහෝදරයා උදෙසා ක්‍රිස්තුස්වහන්සේ මැරුන නමුදු, ඔබගේ දැනගැන්මෙන් ඔහු වැනසේ.</verse>
				<verse number="12">මෙසේ ඔබේ සහෝදරයින්ට එරෙහිව පව් කර, ඔවුන්ගේ හෘදය සාක්ෂිය දුබලව තිබියදී ඊට හානි පැමිණවීමෙන්, ඔබ ක්‍රිස්තුස්වහන්සේට විරුද්ධව පව් කරයි.</verse>
				<verse number="13">එබැවින්, ආහාර මගේ සහෝදරයා පැකිළවයි නම්, මම කිසි දින මස් නො කන්නෙමි. මගේ සහෝදරයා පැකිළවීම මගෙන් සිදු නො වේවා.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">මා නිදහස් කෙනෙක් නො වේ ද? මා අපෝස්තුලුවරයෙක් නො වේ ද? මා, යේසුස් අප ස්වාමින්වහන්සේ දුටුවේ නැති ද? ස්වාමින්වහන්සේ තුළ මගේ නිර්මාණය ඔබ නො වෙත් ද?</verse>
				<verse number="2">අන් අයට මා අපෝස්තුලුවරයකු නො වූව ද, ඔබට මා අපෝස්තුලුවරයෙකි; මන්ද ස්වාමින්වහන්සේ තුළ මගේ අපෝස්තුලුකම සහතික කරන මුද්‍රාව ඔබ ය.</verse>
				<verse number="3">මා විභාග කරන්නට කැමති අයට මගේ නිදහසට උත්තරය මෙයයි.</verse>
				<verse number="4">කෑමට හා බීමට අපට අවසර නැද්ද?</verse>
				<verse number="5">සෙසු අපෝස්තුලුවරුන් ද ස්වාමින්වහන්සේගේ සහෝදරයින් හා කේපස් ද මෙන් ඇදහිලිවත් භාර්යාවක කැටිව යන්නට අයිතිය අපට නැද්ද?</verse>
				<verse number="6">නැතහොත් යැපීම් සඳහා වැඩ කිරීමෙන් වැළකී සිටීමට අයිතිය නැත්තේ බාර්ණබස්ට හා මට පමණක් ද?</verse>
				<verse number="7">කොයි කලෙකවත් තමාගේම වියදමින් හමුදා සෙබලකු සේ සේවය කරන්නේ කවුරු ද? එහි පල භුක්ති නො විඳ මිදි වත්තක් වවන්නේ කවුරු ද? නැතහොත් කිරි ගන්නේ නැතිව බැටළුවන් රැක බලා ගන්නේ කවුරු ද?</verse>
				<verse number="8">මා මේ දෑ කියන්නේ මිනිස් මතයට අනුව පමණක් ද? දහම් නීතියෙහිත් මේ දේම නො කියා ද?</verse>
				<verse number="9">මන්ද: “ගොයම් මඩින කල, ගවයාගේ කට නො බඳිනු” යි මෝස‍ෙස්ගේ දහම් නීතියේ ලියවී තිබේ. දෙවියන්වහන්සේ සැලකිලිමත් වනුයේ ගවයින් ගැන ද?</verse>
				<verse number="10">උන්වහන්සේ එසේ පවසා ඇත්තේ, මුළුමනින්ම අප උදෙසා නො වේ ද? එය ලියා ඇත්තේ අප උදෙසාම ය. මන්ද සී සාන්නා සී සෑ යුත්තේත්, ගොයම් මඩින්නා ගොයම මැඩිය යුත්තේත් අස්වැන්නට පංගුකාර වීමේ බලාපොරොත්තුවෙනි.</verse>
				<verse number="11">අපි ඔබ අතරේ ආත්මික දෑ වපුළෙමු නම්, ඔබ වෙතින් ද්‍රව්‍යමය දෑ නෙළා ගැනීම මහ දෙයක් ද?</verse>
				<verse number="12">ඔබගෙන් මේ අයිතියට වෙනත් අය පංගුකාර වේ නම්, ඊට වඩා වැඩි අයිතියක් අපට නැති ද? කෙසේ වෙතත්, අප ඒ අයිතියෙන් ප්‍රයෝජන ගත්තේ නැත. ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට බාධකයක් වීමට වඩා, හැම දෙයක්ම අපි විඳ දරා ගන්නෙමු.</verse>
				<verse number="13">දේව මාලිග සේවයේ යෙදෙන්නන්, දේව මාලිගයෙන්ම ආහාර ලබන බවත්, පූජාසනයේ ආවතේව කරන්නන්, යාග පූජාවලින් කොටසක් ලබන බවත් ඔබ දන්නේ නැති ද?</verse>
				<verse number="14">එලෙසම, ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්, ශුභාරංචිය මගින්ම සිය ජීවිකාව සලසා ගත යුතු බව ස්වාමින්වහන්සේම ආඥා කර ඇත.</verse>
				<verse number="15">එහෙත් ඒ කිසිදු අයිතියක් මා ප්‍රයෝජනයට ගත්තේ නැත. ඒ කළමනා කිසිවක් ඔබෙන් ලබා ගැනීමේ අදහසින් මෙසේ ලියනවා ද නො වේ. මට ඇති ඒ පාරට්ටුව යමකු මට අහිමි කරනවාට වඩා මා මැරෙනවා හොඳ ය.</verse>
				<verse number="16">මන්ද මා දේශනා කරන්නේ ශුභාරංචිය නම්, පාරට්ටු කර ගැනීමට පදනමක් මට නැත, මන්ද ඊට මා බැඳී සිටින බැවිනි. මා ශුභාරංචිය දේශනා නො කර සිටියහොත් මට ඛේදයකි.</verse>
				<verse number="17">මා එය කරන්නේ මගේම ස්ව කැමැත්තෙන් නම්, මට ඊට ත්‍යාගයක් ඇත. කැමැත්තෙන් නො වේ නම්, මා සිටින්නේ මට පැවරූ භාරකාරත්වයක් යටතේ ය.</verse>
				<verse number="18">එසේ නම් මාගේ ත්‍යාගය කුමක් ද? ඒ මා දේශනා කරන ශුභාරංචිය තුළ මට හිමි අයිතිය මුළුමනින්ම ප්‍රයෝජනයට නො ගෙන, අය කිරීමක් නැතිව ශුභාරංචිය පිළිගැන්වීමයි.</verse>
				<verse number="19">මම සියල්ලෙන්ම නිවහල් මිනිහෙක් වුවත්, වැඩි දෙනකු දිනා ගන්නා පිණිස, සියල්ලන්ගේම වහලකු බවට පත් වුණෙමි.</verse>
				<verse number="20">යුදෙව්වන් දිනා ගන්නා පිණිස, යුදෙව්වන් අතර මම යුදෙව්වකු මෙන් වීමි. මා දහම් නීතිය යටතේ සිටින්නකු නො වූව ද, දහම් නීතිය යටතේ සිටින්නන් දිනා ගන්නා පිණිස, දහම් නීතිය යටතේ සිටින්නන් අතර මම දහම් නීතිය යටතේ සිටින කෙනකු මෙන් වීමි.</verse>
				<verse number="21">දහම් නීතිය යටතේ නො වන අන්‍ය-ජාතිකයින් දිනා ගන්නා පිණිස, ඔවුන් අතර මම දහම් නීතිය යටතේ නො සිටින කෙනකු සේ හැසිරුණෙමි. සැබවින් ම මම දෙවියන්වහන්සේගේ දහම් නීතියෙන් නො මිදුණ කෙනකු වුවත්, ක්‍රිස්තුස්වහන්සේගේ නීතියට බැඳුණ කෙනෙක්මි.</verse>
				<verse number="22">දුබලයින් දිනා ගන්න පිණිස, දුබලයින්ට මම දුබලයකු වීමි. යම් යම් අය කවර අයුරකින් හෝ ගැලවීමට පැමිණෙන පිණිස, මම සියලු දෙනාට සියල්ල වුණෙමි.</verse>
				<verse number="23">ශුභාරංචිය උදෙසා මා මේ සියල්ල කරන්නේ ශුභාරංචියේ ආශිර්වාදවලට පංගුකාර වන පිණිස ය.</verse>
				<verse number="24">තරඟ දිවීමකදී සැවොම තරඟ වදින නමුත්, ත්‍යාගය ලබන්නේ එක් කෙනකු පමණක් බව ඔබ දන්නේ නැද්ද? එබැවින් එය අත්කර ගැනීමටම දුවන්න.</verse>
				<verse number="25">හැම මලල ක්‍රීඩකයෙක්ම හැම දෙයකදීම ආත්ම සංයමය අභ්‍යාස කරයි. ඔවුන් එය කරන්නේ දිරා යන ඔටුන්නක් ලබන පිණිස ය. එහෙත් අප මෙය කරන්නේ සදා පවතින ඔටුන්නක් ලබන්නට ය.</verse>
				<verse number="26">එබැවින්, මා අරමුණක් නැතිව දුවන්නේ නැත. සුළඟට පහර දෙන මල්ලව පොරකරුවකු මෙන් පහර දෙන්නේ නැත.</verse>
				<verse number="27">අන් අයට දේශනා කළායින් පසු, ත්‍යාගයට නුසුදුස්සකු නො වන පිණිස, මම මාගේ ශරීරය හික්මවා ගනිමින්, එය දමනය කර ගනිමි.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">සහෝදරයිනි, අපගේ ආදි පියවරුන් හැමදෙනා වලාකුළ යටතේ වූ බවත්, ඒ හැමදෙනා මුහුද මැදින් ගිය බවත් ඔබ දැන ගන්නවාට කැමැත්තෙමි.</verse>
				<verse number="2">ඒ සියල්ලෝ වලාකුළ තුළ ද මුහුද තුළ ද මෝසෙස් තුළට බව්තීස්ම කරන ලදහ.</verse>
				<verse number="3">එකම ආත්මික ආහාර කෑ ඒ සියල්ලෝ</verse>
				<verse number="4">එකම ආත්මික පානය බීවෝ ය. මන්ද ඔවුන් බීවේ තමන් හා එක්ව ගමන් කළ ආත්මික පර්වතයෙනි; ඒ පර්වතය ක්‍රිස්තුස්වහන්සේ ය.</verse>
				<verse number="5">එසේ වුව ද, ඔවුන් වැඩි දෙනකු දෙවියන්වහන්සේට ප්‍රසන්න වූයේ නැත. ඔවුහු කාන්තාරයේ හෙළා දමනු ලැබූහ.</verse>
				<verse number="6">ඒ දෑ සිදු වූයේ, ඔවුන් කළ ලෙස නපුරට අප ආශා නො වන පිණිස, අපට ආදර්ශ වශයෙනි.</verse>
				<verse number="7">“ජනයා කන්නටත්, බොන්නටත් වාඩිගෙන, සැප සෙල්ලමට නැගී ගියහ” යි ලියා තිබෙන ලෙස: ඔවුන්ගෙන් ඇතමුන් සේ රූප වඳින්නන් නො වන්න.</verse>
				<verse number="8">ඔවුන්ගෙන් ඇතමකු කළ ලෙස, අප ලිංගික අනාචාරයේ නො ගැලිය යුතු ය. එයින් එකම දවසේ ඔවුන්ගෙන් විසිතුන් දහස් දෙනෙක් වැටී ගියහ.</verse>
				<verse number="9">ඔවුන්ගෙන් ඇතමකු කළ ලෙස, අපි ස්වාමින්වහන්සේ පරීක්ෂා නො කළ යුතු වෙමු. එසේ කිරීමෙන්, ඔවුහු සර්පයින්ගෙන් විනාශ වූහ.</verse>
				<verse number="10">ඔවුන්ගෙන් ඇතමකු කළ ලෙස, මැසිවිලි නො නගන්න. එසේ කිරීමෙන්, ඔවුහු විනාශකයාගෙන් විනාශ වූහ.</verse>
				<verse number="11">ඒ දෑ ඔවුනට සිදු වූයේ ආදර්ශයක් වශයෙනි. ඒවා ලියනු ලැබ ඇත්තේ යුගවල කෙළවරට පැමිණ සිටින අපට අනතුරු ඇඟවීමට ය.</verse>
				<verse number="12">එබැවින්, තමා ස්ථිරව සිටගෙන සිටිතැයි සිතා සිටින්නා නො වැටෙන්නට වගබලා ගනිත්වා!</verse>
				<verse number="13">මිනිසාට පොදු පරීක්ෂා නො වන පරීක්ෂාවක්, ඔබ අල්ලා ගත්තේ නැත. දෙවියන්වහන්සේ විශ්වාසනීය ය; දරන්න බැරි තරමට වඩා, ඔබ පරීක්ෂා කරනු ලබන්නට උන්වහන්සේ ඉඩ නො දෙන සේක. තවද පරීක්ෂාව සමඟ එය දරා ගැනීමට ඔබට හැකි වන පිණිස, ඉන් මිදී යෑමේ මාර්ගය ද උන්වහන්සේ සලසා දෙන සේක.</verse>
				<verse number="14">එබැවින් මා ප්‍රේමණීයයනි, පිළිම රූප වෙතින් පැන දුවන්න.</verse>
				<verse number="15">මා ඔබට කතා කරන්නේ, සිහි නුවණ ඇත්තනට මෙනි. මා පවසන දෑ ඔබම විමසා බලන්න.</verse>
				<verse number="16">අප ආශිර්වාද කරන ආශිර්වාද කුසලානය ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරය තුළ සහභාගිත්වය නො වේ ද? අප කඩන රොටිය ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය තුළ සහභාගිත්වය නො වේ ද?</verse>
				<verse number="17">ඇත්තේ එක රොටියක් බැවින්, බොහෝ දෙනකු වූ අපි එක ශරීරයකි; මන්ද අප හැම එකම රොටියකට පංගුකාර වන බැවිනි.</verse>
				<verse number="18">ඉශ්‍රායෙල් ජනයා ගැන සිතා බලන්න: යාග පූජා වළඳන්නන්, පූජාසනයට පංගුකාර වනවා නො වේ ද?</verse>
				<verse number="19">එසේ නම් මා අදහස් කරන්නේ කුමක් ද? පිළිමවලට පිදූ ආහාර යමක්ය, පිළිම-රූපය යමක්ය කියා ද?</verse>
				<verse number="20">නැත; මා අදහස් කරන්නේ මෙයයි; මිථ්‍යා දෘෂ්ටිකයින් පූජා කරන දෑ ඔවුන් ඔප්පු කරන්නේ යක්ෂාත්මයන්ට ය, දෙවියන්වහන්සේට නො වේ; ඔබ යක්ෂාත්මයන් සමඟ පංගුකාරයින් වනවාට මා කැමති නැත.</verse>
				<verse number="21">ස්වාමින්වහන්සේගේ කුසලානෙන් හා යක්ෂාත්මයන්ගේ කුසලානෙන් බීමට ඔබට නුපුළුවන. ස්වාමින්වහන්සේගේ මේසයෙත්, යක්ෂාත්මයන්ගේ මේසයෙත් පංගුකාර වීමට ඔබට නුපුළුවන.</verse>
				<verse number="22">අපි ස්වාමින්වහන්සේගේ උදහස අවුස්සමු ද? උන්වහන්සේට වඩා අප බලවත් ද?</verse>
				<verse number="23">“හැම දෙයක් ගැන නිදහස තිබේ.” එහෙත් හැම දෙයක්ම ප්‍රයෝජනවත් නැත. සැබවින් ම, “හැම දෙයක් ගැන නිදහස තිබේ.” එහෙත් හැම දෙයින්ම වර්ධනය සැලසෙන්නේ නැත.</verse>
				<verse number="24">කිසිවකු තමාගේ වාසියම නො ව, අන් අයගේ යහපත සොයා බැලිය යුතු ය.</verse>
				<verse number="25">හෘදය සාක්ෂිය අරබයා ප්‍රශ්න නො කර මස් කඩේ විකුණන කවර දෙයක් වුව කෑමට ගන්න.</verse>
				<verse number="26">මන්ද, “පොළොවත්, එහි ඇති සියල්ලත් ස්වාමින්වහන්සේගේ ය.”</verse>
				<verse number="27">නො ඇදහිලිවත් කෙනකු ඔබට ආහාර වේලකට ඇරියුම් කළ විටෙක, එහි යෑමට ඔබත් කැමති නම්, ඔබට පිළිගන්වන කවර දෙයක් වුව, හෘදය සාක්ෂිය අරබයා ප්‍රශ්න නො කර, භුක්ති විඳින්න.</verse>
				<verse number="28">එහෙත්, “මේවා පිදේනියක් කොට පිදූ දෑ යැ” යි යමකු ඔබට පැවසුවොත්, එසේ කී අය නිසාත්, හෘදය සාක්ෂිය නිසාත් ඒවා කෑමෙන් වළකින්න.</verse>
				<verse number="29">මා අදහස් කළේ, අනෙකාගේ හෘදය සාක්ෂියයි; ඔබගේ නො වෙයි. මගේ නිදහස අනෙකකුගේ හෘදය සාක්ෂියෙන් තීරණය කරන්නේ කුමට ද?</verse>
				<verse number="30">මා භුක්ති විඳින්නේ ස්තුති දීම සමඟ නම්, මා ස්තුති දෙන දේ මා හෙළා දකින්නේ කුමට ද?</verse>
				<verse number="31">එබැවින්, ඔබ කතත්, බොතත්, අන් කවර දෙයක් කරතත් ඒ සියල්ල දෙවියන්වහන්සේට මහිමය පිණිස කරන්න.</verse>
				<verse number="32">යුදෙව්වන්ට, ග්‍රීකයින්ට හෝ දෙවියන්වහන්සේගේ සභාවට හෝ බාධාවක් නො වන්න.</verse>
				<verse number="33">මම මගේම වාසිය නො තකා, බොහෝ දෙනකු ගැලවීම ලබන පිණිස හැම කෙනකුම හැම අයුරින්ම සතුටු කරන්නට වැර දරන්නා සේ කරන්න.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">මා ක්‍රිස්තුස්වහන්සේ අනුකරණ කරන්නා සේ, මා අනුකරණ කරන්නන් වන්න.</verse>
				<verse number="2">ඔබ හැම දේකදීම මා සිහි කරන නිසාත්, මා ඔබට ඉගැන්වූ සම්ප්‍රදායයන්, මා ඔබට භාර කළ ලෙසම පවත්වන නිසාත් මම ඔබ පසසමි.</verse>
				<verse number="3">හැම පුරුෂයකුගේම හිස ක්‍රිස්තුස්වහන්සේ බවත්, ස්ත්‍රියකගේ හිස ඇගේ පුරුෂයා බවත්, ක්‍රිස්තුස්වහන්සේගේ හිස දෙවියන්වහන්සේ බවත් ඔබ වටහා ගන්නවාට කැමැත්තෙමි.</verse>
				<verse number="4">යාච්ඤා කරද්දී හෝ දිවැස් වැකි පවසද්දී හෝ තම හිස වසා ගන්නා පුරුෂයා, තම හිසට නිගරු කරයි.</verse>
				<verse number="5">එහෙත් හිස නො වසා යාච්ඤා කරන හෝ දිවැස් වැකි පවසන හෝ ස්ත්‍රිය තම හිසට නිගරු කරයි. එය ඇගේ හිස මුඩු කරගෙන සිටිනවා වැනි ය.</verse>
				<verse number="6">යම් ස්ත්‍රියක් තම හිස වසා ගන්නේ නැතිනම්, ඇය කොණ්ඩය කොටකර කපා ගත යුතු ය. එහෙත් හිසකේ කපා ගැනීම හෝ මුඩු කර ගැනීම හෝ ස්ත්‍රියකට ලජ්ජාවට කරුණක් බැවින්, ඇය හිස වසා ගත යුතු ය.</verse>
				<verse number="7">පුරුෂයා දෙවියන්වහන්සේගේ ස්වරූපයත්, මහිමයත් වන බැවින්, ඔහු හිස වසා ගත යුතු නැත. එහෙත් ස්ත්‍රිය පුරුෂයාගේ මහිමයයි.</verse>
				<verse number="8">මන්ද පුරුෂයා ස්ත්‍රියගෙන් නො ව, ස්ත්‍රිය පුරුෂයාගෙනි.</verse>
				<verse number="9">තවද ස්ත්‍රිය උදෙසා පුරුෂයා නො ව, පුරුෂයා උදෙසා ස්ත්‍රිය මවන ලද්දේ ය.</verse>
				<verse number="10">දේව දූතයින් නිසා ස්ත්‍රිය ආධිපත්‍යයේ සලකුණක් තම හිසේ දරා සිටිය යුත්තේ එබැවිනි.</verse>
				<verse number="11">කෙසේ වෙතත්, ස්වාමින්වහන්සේ තුළ ස්ත්‍රිය, පුරුෂයාගෙන් නිදහස් නැත; පුරුෂයා ද ස්ත්‍රියගෙන් නිදහස් නැත.</verse>
				<verse number="12">මන්ද ස්ත්‍රිය, පුරුෂයාගෙන් සෑදුවා සේ ම, පුරුෂයා, ස්ත්‍රියගෙන් උපත ලබයි. එහෙත් සියලු දේම දෙවියන්වහන්සේගෙනි.</verse>
				<verse number="13">තම හිස නො වසා දෙවියන්වහන්සේට යාච්ඤා කිරීම, ස්ත්‍රියකට හොබනේදැයි ඔබම නිශ්චය කරන්න.</verse>
				<verse number="14">සොබා දහම විසින් ඔබට මෙය උගන්වනවා නො වේ ද? එය, දිගු හිසකේ පුරුෂයකුට නින්දාවක් බවත්,</verse>
				<verse number="15">එහෙත් ස්ත්‍රියකට දිගු කෙස් කළඹක් වේ නම්, එය ඇයට මහිමයක් බවත් ය. මන්ද ඇගේ කෙස් කළඹ ඇයට දී ඇත්තේ වැස්මක් වශයෙනි.</verse>
				<verse number="16">යමෙක් මේ පිළිබඳ විවාදයකට පෙලඹේ නම් අපට කීමට ඇත්තේ, අන් පිළිවෙතක් අපටවත්, දෙවියන්වහන්සේගේ සභාවලටවත් නැති බවයි.</verse>
				<verse number="17">පහත දැක්වෙන උපදෙස් සම්බන්ධව මා ඔබ පසසන්නේ නැත. මන්ද ඔබ එකට රැස්වන කල, එහිදී යහපතකට වඩා අයහපතක් සිදුවන බැවිනි.</verse>
				<verse number="18">පළමු කොට, සභාවක් වශයෙන් ඔබ එකට රැස්වන කල, ඔබ අතරේ බෙදීම් ඇති වග මට අසන්නට ලැබෙයි. තරමක් දුරට මම එය විශ්වාස කරමි.</verse>
				<verse number="19">ඔබ අතරේ අව්‍යාජ අය කවුරුන්දැයි හඳුනාගන්නා පිණිස, ඔබ අතර භේද තිබිය යුතු ය.</verse>
				<verse number="20">ඔබ එක්රැස් වන කල, ඔබ වළඳන්නේ ස්වාමින්වහන්සේගේ රාත්‍රි භෝජනය නො වේ.</verse>
				<verse number="21">මන්ද අහර ගැනීමේදී හැම කෙනෙක්ම, අන් අයට කලින් තමාගේ ආහාර කෑමට ඉක්මන් වෙයි. කෙනකු සාගින්නේ සිටියදී අන් කෙනෙක් බීමත් වෙයි.</verse>
				<verse number="22">කිම ද? කන්නට බොන්නට ඔබට ගෙවල් නැද්ද? නැතහොත් දෙවියන්වහන්සේගේ සභාවට නිගරු කරමින්, ඔබ කිසිවක් නැත්තවුන්ට අවමන් කරනවා ද? මා ඔබට මොනවා කියන්න ද? මේ ගැන මා ඔබට ප්‍රශංසා කරන්න ද? නැත; මා එසේ කරන්නේ නැත.</verse>
				<verse number="23">මන්ද ස්වාමින්වහන්සේගෙන් මා ලද දේ මම ඔබට භාර කළෙමි. එය නම්, යේසුස් ස්වාමින්වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේ, උන්වහන්සේ රොටි ගෙන,</verse>
				<verse number="24">ස්තුති දී, එය කඩා, මෙසේ පැවසූ සේක; “ඔබ උදෙසා දෙනු ලබන මාගේ ශරීරය මෙයයි. මා සිහි කිරීම පිණිස මෙය කරන්න.”</verse>
				<verse number="25">එලෙසම, රාත්‍රි භෝජනයෙන් පසු, උන්වහන්සේ කුසලාන ගෙන, “මේ කුසලාන මාගේ ලෙයින් පිහිටු වන අලුත් ගිවිසුමයි. යම් පමණ වර ඔබ මෙයින් පානය කරන කල, මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ” යි කී සේක.</verse>
				<verse number="26">යම් පමණ වර ඔබ මෙම රොටි අනුභව කරන කල, මේ කුසලානෙන් පානය කරන කල, උන්වහන්සේ නැවත පැමිණෙන තෙක්, ස්වාමින්වහන්සේගේ මරණය ඔබ ප්‍රකාශ කරන්නේ ය.</verse>
				<verse number="27">එබැවින් නුසුදුසු ලෙස ස්වාමින්වහන්සේගේ රොටි අනුභව කරන්නාවූත්, ඒ කුසලානෙන් පානය කරන්නාවූත් කවරකු වුව ද, ස්වාමින්වහන්සේගේ ශරීරයත්, උන්වහන්සේගේ රුධිරයත් කෙලෙසීමේ වරදකරුවෙක් වෙයි.</verse>
				<verse number="28">කෙනෙක් තමාම විනිශ්චය කරගෙන, ඉන්පසු මේ රොටි කෑවා වේ; මේ කුසලානෙන් බීවා වේ.</verse>
				<verse number="29">ශරීරය නො විමසා කන්නාවූ, බොන්නාවූ තැනැත්තා කන්නේත්, බොන්නේත් විනිශ්චය තමා පිට තබාගෙන ය.</verse>
				<verse number="30">ඔබ බොහෝ දෙනකු දුබලව හා රෝගීව සිටින්නේත්, ඇතමකු මැරී ගියේත් මේ නිසා ය.</verse>
				<verse number="31">එහෙත් අප අවංකව අපම විනිශ්චය කර ගන්නෙමු නම්, අප විනිශ්චය කරනු ලබන්නේ නැත.</verse>
				<verse number="32">ලෝකයා සමඟ දඬුවමට පත් නො වන පිණිස, ස්වාමින්වහන්සේ විසින් අප විනිශ්චය කරනු ලබන කල, අපි හික්මවනු ලබන්නෙමු.</verse>
				<verse number="33">එබැවින් මා සහෝදරයිනි, ඔබ කෑමට එක්රැස් වන කල, අන් අය ගැනත් බලා සිටින්න;</verse>
				<verse number="34">යමකුට කුසගිනි නම්, ඔබ එක්රැස් වන කල, එය විනිශ්චයට පාත්‍ර නො වන පිණිස, ඔහු ගෙදරදී කෑවා වේ. අනිකුත් දෑ ගැන, මම ඔබ වෙත ආ කල, උපදෙස් දෙන්නෙමි.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">දැන් ආත්මික දීමනා ගැන; සහෝදරයිනි, ඔබ මේ ගැන නො දැන සිටිනවාට නො කැමැත්තෙමි.</verse>
				<verse number="2">ඔබ අන්‍ය-ලබ්ධිකයින්ව සිටියදී, එලෙස හෝ මෙලෙස මෙහෙය වනු ලැබ, කතා බැරි පිළිම රූප වෙත මුළා කරනු ලැබූ හැටි ඔබම දනිති.</verse>
				<verse number="3">එබැවින් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මඟින් කතා කරන කිසිවකුට, “යේසුස්වහන්සේ ශාප ලත් කෙනෙකැ” යි කීමට කොහෙත්ම බැරි වගත්, ශුද්ධාත්මයාණන්වහන්සේ මඟින් මිස, “යේසුස්වහන්සේ ස්වාමින්වහන්සේ යැ” යි කීමට කිසිවකුට බැරි වගත් ඔබට දන්වන්නට කැමැත්තෙමි.</verse>
				<verse number="4">විවිධාකාර වූ දීමනා ඇත්තේ ය; එහෙත් එකම ආත්මයාණන්වහන්සේ ය.</verse>
				<verse number="5">විවිධාකාර වූ සේවාවන් ඇත්තේ ය; එහෙත් එකම ස්වාමින්වහන්සේ ය.</verse>
				<verse number="6">විවිධාකාර වූ ක්‍රියාකාරකම් ඇත්තේ ය; එහෙත් සියල්ලන්ට හැම අයුරින් බලය පවරන්නේ එකම දෙවියන්වහන්සේ ය.</verse>
				<verse number="7">එකිනෙකාට ආත්මයාණන්වහන්සේගේ ප්‍රකාශවීම් දී ඇත්තේ, පොදු යහපත උදෙසා ය.</verse>
				<verse number="8">ආත්මයාණන් මඟින් කෙනකුට ප්‍රඥාව කතා කිරීම ද තව කෙනකුට එම ආත්මයාණන්ට අනුකූලව දැනගැන්ම කතා කිරීම ද</verse>
				<verse number="9">තව කෙනකුට එම ආත්මයාණන් මඟින් ඇදහිල්ල ද එම එක ආත්මයාණන් මඟින් තවත් කෙනකුට සුව කිරීමේ දීමනා ද</verse>
				<verse number="10">තව කෙනකුට හාස්කම් සිදු කිරීම ද තවත් කෙනකුට දිවැස් වැකි කීම ද තවත් කෙනකුට ආත්ම අතරේ විමසීමේ හැකියාව ද තව කෙනකුට විවිධ භාෂා කතා කිරීම ද එසේම තවත් කෙනකුට එම භාෂාවල අර්ථ පහදා දීම ද දී තිබේ.</verse>
				<verse number="11">ස්වකීය අභිමතය පරිදි එක් එක් කෙනාට වෙන් වෙන් වශයෙන් මේ සියල්ල බෙදා, වෙන් කර දී, බලය පවරා දෙන්නේ ඒ එකම, ආත්මයාණන්වහන්සේ ය.</verse>
				<verse number="12">බොහෝ අවයව තිබුණත්, ශරීරය තනි එකකි. ශරීරයේ අවයව සියල්ල බොහෝ වුවත්, එක ශරීරයක් වන්නා සේ, ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳවත් එසේම ය.</verse>
				<verse number="13">මන්ද යුදෙව් හෝ ග්‍රීක් වේවා, වහල් හෝ නිවහල් වේවා අප සියල්ලෝ එකම ආත්මයාණන්වහන්සේ තුළ එක ශරීරයක් තුළට බව්තීස්ම කරනු ලැබීමු; තවද සියල්ලෝ එකම ආත්මයාණන්ගෙන් පොවනු ලැබීමු.</verse>
				<verse number="14">ශරීරය සැදුම් ලද්දේ එක් අවයවයකින් නො ව බොහොමයකිනි.</verse>
				<verse number="15">“මා අතක් නො වන බැවින් ශරීරයට මා අයිති නැතැ” යි පාදය කිව හැකි නමුදු, එයින් එය ශරීරයේ කොටසක් නො වන්නේ නැත.</verse>
				<verse number="16">තවද, “මා ඇසක් නො වන බැවින් ශරීරයට මා අයිති නැතැ” යි කන කිව හැකි නමුදු, එයින් එය ශරීරයේ කොටසක් නො වන්නේ නැත.</verse>
				<verse number="17">මුළු ශරීරය ඇසක් වී නම්, ඇසීම දැනෙන්නේ කොතැනකට ද? මුළු ශරීරය කනක් වී නම් ගඳ-සුවඳ විඳින්නේ කොතැනින් ද?</verse>
				<verse number="18">එහෙත් ශරීරයේ කොටස්, ඒ හැම එකක්ම, ඒ ඒ හැටියට දෙවියන්වහන්සේ සකසා ඇත්තේ ස්වකීය අභිමතය පරිදි ය.</verse>
				<verse number="19">ඒ සියල්ල එකම ශරීරාංගයක් වී නම්, ශරීරය කොයින් ද?</verse>
				<verse number="20">ඒ අනුව අවයව බොහොමයක් වෙතත්, එක ශරීරයකි.</verse>
				<verse number="21">අත අමතා, “නුඹ මට ඕනෑ නැතැ” යි කියන්නට ඇසටවත්, පාද අමතා, “නුඹලා මට ඕනෑ නැතැ” යි කියන්නට හිසටවත් නුපුළුවන.</verse>
				<verse number="22">සැබවින් ම, සිරුරේ දුබලයයි පෙනෙන අවයව අත්‍යවශ්‍ය වෙයි.</verse>
				<verse number="23">ගරුත්වයෙන් අඩු යයි අප සලකන අවයවවලට අපි වඩා ගරුත්වයක් දෙන්නෙමු. තවද අපගේ ශරීරයේ ශෝභාව නැති කොටස්වලට අප මහත් අවධානයක් දක්වතත්,</verse>
				<verse number="24">අපගේ වඩා ශෝභමාන කොටස්වලට එය අනවශ්‍ය ය. මෙසේ දෙවියන්වහන්සේ ශරීරය නිර්මාණ කර ඇත්තේ, ගරුත්වයෙන් අඩු අවයවවලට මහත් ගරුත්වයක් දෙමිනි.</verse>
				<verse number="25">එසේ කර ඇත්තේ ශරීරයේ භේද ඇති නො වී, අවයව එකිනෙකට සමාන සැලකිල්ලක් දක්වන පිණිස ය.</verse>
				<verse number="26">එවිට එක් අවයවයක් වේදනා විඳී නම්, සියලු අවයව එය සමඟ වේදනා විඳී; එක් අවයවයක් ගෞරව ලබයි නම්, සියලු අවයව ඒ සමඟ ප්‍රීති වේ.</verse>
				<verse number="27">එලෙස ඔබ ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය ය. ඔබ හැම කෙනෙක්ම එහි අවයවය ය.</verse>
				<verse number="28">දෙවියන්වහන්සේ සභාව තුළ පළමු කොට අපෝස්තුලුවරුන් ද දෙවනුව දිවැසිවරුන් ද තෙවනුව ගුරුවරුන් ද ඊ ළඟට හාස්කම් ද ඊ ළඟට සුව කිරීමේ දීමනා ද උපකාර ද පරිපාලනය හා විවිධ ආකාරයේ භාෂා ද පත් කළ සේක.</verse>
				<verse number="29">සියල්ලෝ අපෝස්තුලුවරු ද? සියල්ලෝ දිවැසිවරු ද? සියල්ලෝ ගුරුවරු ද? සියල්ලෝ හාස්කම් දක්වත් ද?</verse>
				<verse number="30">සියල්ලෝ සුව කිරීමේ දීමනා ලද්දෝ ද? සියල්ලෝ අන්‍ය භාෂා කතා කරත් ද? සියල්ලෝ අර්ථ පහදත් ද?</verse>
				<verse number="31">එහෙත්, වඩා උතුම් දීමනා සඳහා ඕනෑකමින් ආශා වන්න. වඩාත් විශිෂ්ට මාර්ගය මම දැන් ඔබට පෙන්වා දෙමි.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">මා මිනිසුන්ගේ ද දේව දූතයින්ගේ ද භාෂාවලින් කතා කරන නමුත්, ප්‍රේමය නැතිනම්, මා ඝෝෂාකාරී ඝණ්ඨාරයක් හෝ ශබ්දකාරී කයිතාලමක් වැනි ය.</verse>
				<verse number="2">මට දිවැස් වැකි කීමේ දීමනාව ද සියලු අබිරහස් ගැන වැටහීම හා සකල දැනගැන්ම ද ඇතත්, කඳු එහා මෙහා කරන සම්පූර්ණ ඇදහිල්ල ඇතත්, ප්‍රේමය නැතිනම් මම හිස් පුද්ගලයෙක්මි.</verse>
				<verse number="3">මා සතු සියල්ල මා බෙදා දෙතත්, මගේ සිරුර දවාලන්නට භාර දෙතත්, මට ප්‍රේමය නැතිනම්, මට ලැබෙන ප්‍රයෝජනයක් නැත.</verse>
				<verse number="4">ප්‍රේමය ඉවසිලිවන්ත ය; කරුණාවන්ත ය. ප්‍රේමය ඊර්ෂ්‍යා කරන්නේ නැත; පාරට්ටු කරගන්නේ නැත; අහංකාර නැත;</verse>
				<verse number="5">අසංවර නැත; එය තමන්ගේම මතය ගැන බල කරන්නේ නැත. එය වහා කිපෙන්නේ නැත; වරද සිතේ තබා ගන්නේ නැත.</verse>
				<verse number="6">එය වැරදි කිරීමෙහි ප්‍රීති වන්නේ නැත; එහෙත් සත්‍යයෙහි ප්‍රීති වෙයි.</verse>
				<verse number="7">ප්‍රේමය සියල්ල දරා ගනී; සියල්ල විශ්වාස කරයි. සියල්ල බලාපොරොත්තු වෙයි; සියල්ල ඉවසයි.</verse>
				<verse number="8">ප්‍රේමය කිසි කල අවසන් වන්නේ නැත. දිවැස් වැකි පහ වී යයි; අන්‍ය භාෂා නවතිනු ඇත. දැනුම ද පහව යයි.</verse>
				<verse number="9">මන්ද අප දන්නේ අසම්පූර්ණව ය; දිවැස් වැකි පවසන්නේ ද අසම්පූර්ණව ය.</verse>
				<verse number="10">සම්පූර්ණත්වය පැමිණි කල, අසම්පූර්ණත්වය පහ වී යන්නේ ය.</verse>
				<verse number="11">මා ළමයකුව සිටියදී, මා කතා කළේ ළමයකු ලෙසිනි; මා සිතුවේ ළමයකු ලෙසිනි; තර්ක කළේ ළමයකු ලෙසිනි. මා මිනිසකු වූ කල, ඒ ළමා ගති මම අත්හැර දැමුවෙමි.</verse>
				<verse number="12">දැන් අපට පෙනෙන්නේ කැඩපතකින් අපැහැදිලිව ය. පසුව අපි මුහුණට මුහුණ ලා දකින්නෙමු. දැන් මා දන්නේ කොටසක් ය. එහෙත් පසුව මා සම්පූර්ණයෙන් දැනගන්නේ, මා මුළුමනින්ම දැන සිටියාක් මෙනි.</verse>
				<verse number="13">දැන්, පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව හා ප්‍රේමය යන තුන ය. මෙයින් වඩා උතුම් වන්නේ ප්‍රේමයයි.</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">ප්‍රේමය ලුහුබැඳ යන්න. ආත්මික දීමනා ලබන්නට අතිශය ආශා වන්න. දිවැස් වැකි පැවසීමට වෙසෙසින් ආශා වන්න.</verse>
				<verse number="2">මන්ද අන්‍ය භාෂා කථනයෙහි යෙදෙන අය කතා කරන්නේ මිනිසුනට නො ව දෙවියන්වහන්සේට ය. මන්ද ඔහු පවසන දෑ කිසිවකුටත් වැටහෙන්නේ නැත; ඔහු ආත්මයාණන් මඟින් අබිරහස් පවසයි.</verse>
				<verse number="3">එහෙත් දිවැස් වැකි පවසන්නා අන්‍යයන්ගේ අභිවෘද්ධියට, ධෛර්යවත් කිරීමට හා සැනසීමට මිනිසුනට කතා කරයි.</verse>
				<verse number="4">අන්‍ය-භාෂාවකින් කතා කරන්නා තමාගේ අභිවෘද්ධිය සලසා ගනී. එහෙත් දිවැස් වැකි පවසන්නා සභාවේ අභිවෘද්ධිය සලසයි.</verse>
				<verse number="5">ඔබ සැවොම අන්‍ය භාෂා කතා කරනවාට කැමැත්තෙමි; එහෙත් ඔබ දිවැස් වැකි පවසනවාට ඊට බොහෝ වැඩියෙන් කැමැත්තෙමි. සභාවේ අභිවෘද්ධිය පිණිස අන්‍ය භාෂා කතා කරන්නා පවසන දෑ, අන් අයට පහදා දෙන්නේ නම් මිස, දිවැස් වැකි පවසන්නා ඔහුට වඩා උතුම් ය.</verse>
				<verse number="6">සහෝදරයිනි, මා ඔබ වෙත පැමිණ, යම් එළිදරවුවක් හෝ දැනගැන්මක් හෝ දිවැස් වැකි හෝ ඉගැන්වීමක් හෝ නො කර, අන්‍ය භාෂා කතා කළහොත්, මා ඔබට කවර සෙතක් සලසා ද?</verse>
				<verse number="7">නළාව හෝ වීණාව වැනි අප්‍රාණික සංගීත භාණ්ඩයක් පැහැදිලි ස්වරයක් වාදන නො කෙරේ නම්, වැයෙන්නේ කවර තනුවක්දැයි කෙනකු හැඳින ගන්නේ කෙසේ ද?</verse>
				<verse number="8">එසේම යුද හොරණෑව අනුමාන නාදයකින් හැඬවේ නම්, සටනට සැරසෙන්නේ කවුරු ද?</verse>
				<verse number="9">ඔබ පිළිබඳවත් එසේම ය; ඔබගේ දිවෙන් ඔබ තේරුම් ගත හැකි වචන කතා නො කළහොත්, කුමක් කියන්නේදැයි කෙනකු දැනගන්නේ කෙසේ ද? මන්ද ඔබ සුළඟට කතා කරනවා වැන්න.</verse>
				<verse number="10">බොහෝ විවිධ භාෂා ලෝකයේ තිබේ. ඉන් කවර බසක් හෝ අරුත් රහිත නැත.</verse>
				<verse number="11">යමෙක් කතා කරන භාෂාව මට වැටහෙන්නේ නැතිනම්, ඒ කථිකයාට මා විදෙස්සෙකි. කථිකයා ද මට විදෙස්සෙකි.</verse>
				<verse number="12">ඔබ පිළිබඳවත් එසේම ය; ආත්මයාණන්වහන්සේගේ ප්‍රකාශවීම් ලබන්නට දැඩි ආශාවෙන් පසු වන ඔබ, සභාවේ අභිවෘද්ධිය උසස් කිරීමට උත්සුක වන්න.</verse>
				<verse number="13">මෙනිසා, අන්‍ය භාෂා කතා කරන්නා අරුත පහදා දීමේ වරය ද ඉල්ලා යාච්ඤා කළ යුතු ය.</verse>
				<verse number="14">මන්ද මා අන්‍ය-භාෂාවකින් යාච්ඤා කරන කල, මාගේ ආත්මය යාච්ඤා කරන නමුත්, මගේ මනසට පලක් නැත.</verse>
				<verse number="15">මම කුමක් කරම් ද? මාගේ ආත්මයෙන් යාච්ඤා කරමි; මගේ මනසින් ද යාච්ඤා කරමි. මාගේ ආත්මයෙන් පැසසුම් ගී ගයමි; මගේ මනසින් ද ගී ගයමි.</verse>
				<verse number="16">ඔබ ආත්මයෙන් ස්තුති දෙන විට කෙනකුට ඔබ කියන දේ නො වැටහේ නම්, ඔබගේ ස්තුති දීමට ඔහු ආමෙන් කියන්නේ කොහොම ද?</verse>
				<verse number="17">ඔබ සිතේ හැටියට ස්තුති දුන්නා විය හැක. එහෙත්, අනෙකාගේ වර්ධනයක් සිදු නො වේ.</verse>
				<verse number="18">ඔබ හැමට වඩා මා අන්‍ය භාෂා කතා කරන බැවින් මම දෙවියන්වහන්සේට ස්තුති කරමි.</verse>
				<verse number="19">එහෙත් සභාවකදී අන්‍ය-භාෂාවෙන් වචන දස දහසක් පවසනවාට වඩා, අන්‍යයන්ට උපදෙස් පිණිස, මගේ මනසින් වචන පහක් කතා කරනු කැමැත්තෙමි.</verse>
				<verse number="20">සහෝදරයිනි, ළමයින් මෙන් සිතීම නවතන්න. නපුර සම්බන්ධව බිළිඳුන් වන්න; සිතිවිලිවලින් වැඩිහිටියන් වන්න.</verse>
				<verse number="21">දහම් නීතියේ ලියා තිබෙන්නේ: “අමුතු භාෂිත මිනිසුන් මඟින් හා විදෙස්සන්ගේ තොල්වලින් මම, මේ ජනයාට කතා කරන්නෙමි, එහෙත්, ඊට පසුත් ඔවුන් මට සවන් දෙන්නේ නැතැයි ස්වාමින්වහන්සේ කියන සේකැ” යි කියා ය.</verse>
				<verse number="22">එබැවින් අන්‍ය භාෂා ඇදහිලිවතුන් උදෙසා නො ව, නො අදහන්නන්ට ලකුණකි. එහෙත් දිවැස් වැකි නො අදහන්නන්ට නො ව, ඇදහිලිවතුන් උදෙසා ය.</verse>
				<verse number="23">සභාවේ හැම එක් රැස්ව, හැම කෙනකුම අන්‍ය භාෂා පවසමින් සිටියදී, මේ ගැන දැනුම නො ලත් හෝ නො ඇදහිලිවතුන් එතැනට පැමිණියහොත්, ඔබ හැමගේ සිහි විකල් වෙලායි ඔවුන් නො කියා ද?</verse>
				<verse number="24">එහෙත් ඔබ හැම දිවැස් වැකි කියන කල, නො ඇදහිලිවතකු හෝ මේ ගැන දැනුම නො ලත්තකු පැමිණියහොත්, ඒ සියල්ලෙන් ඒත්තු ගෙන, සියල්ල මඟින් විනිශ්චය කරනු ලබනු ඇත.</verse>
				<verse number="25">ඔහුගේ හදෙහි රහස් හෙළි වී, දෙවියන්වහන්සේ සැබවින් ම ඔබ අතරේ ය කියමින්, මුහුණ බිම ඔබා දෙවියන්වහන්සේට නමස්කාර කරනු ඇත.</verse>
				<verse number="26">එසේ නම් සහෝදරයිනි, තව මොනවා ද? ඔබ එක්රැස් වන කල, එක් එක් කෙනාට ගීතිකාවක්, පාඩමක්, එළිදරවුවක්, අන්‍ය-භාෂාවක් හෝ එහි පරිවර්තනයක් ඇත. ඒ හැම දේ වර්ධනය සඳහා වේවා.</verse>
				<verse number="27">අන්‍ය-භාෂාවක් වේ නම්, දෙදෙනෙක්, වැඩිම වුණොත් තිදෙනෙක් කෙනකුට පසුව, කෙනකු වශයෙන් සිටීවා. කෙනෙක් එය පරිවර්තන කරත්වා.</verse>
				<verse number="28">පරිවර්තනයට කෙනකු නො වේ නම්, ඔවුන් සභාව තුළ නිහඬව සිටිමින්, තමන් තුළ හා දෙවියන්වහන්සේ සමඟ කතා කරත්වා!</verse>
				<verse number="29">දිවැසිවරු දෙදෙනෙක් හෝ තිදෙනෙක් කතා කරත්වා. සෙසු අය ඒ කී දෑ විමසා බලත්වා.</verse>
				<verse number="30">සභාවේ හිඳ සිටින තවත් කෙනකුට එළිදරවුවක් පැමිණියහොත්, පළමු වැන්නා නිහඬ විය යුතු ය.</verse>
				<verse number="31">මෙසේ හැම දෙනාම ඉගෙන ගන්නා පිණිසත්, දිරි ගන්වන පිණිසත්, දිවැස් වැකි පැවසීමට ඔබ සැමට පුළුවන.</verse>
				<verse number="32">දිවැසිවරුන්ගේ ආත්ම, දිවැසිවරුන්ට යටත් ය.</verse>
				<verse number="33">මන්ද දෙවියන්වහන්සේ, වියවුල්කමේ නො ව, සාමයේ දෙවියන්වහන්සේ ය. ශුද්ධවන්තයින්ගේ හැම සභාවක් තුළම තිබෙන පරිදි එසේ ය.</verse>
				<verse number="34">ස්ත්‍රීන් සභාවලදී නිහඬව සිටිය යුතු ය; එහිදී කතා කිරීමට ඔවුන්ට අවසර නැත. දහම් නීතිය ද කියන පරිදි, ඔවුන් යටත්ව සිටිය යුතු ය.</verse>
				<verse number="35">යමක් විමසා දැනගැනීමට උවමනා නම්, තම ස්වාමි පුරුෂයන්ගෙන් ගෙදරදී විමසත්වා. මන්ද සභාවේදී කතා කිරීම ස්ත්‍රියකට ලජ්ජාවකි.</verse>
				<verse number="36">දෙවියන්වහන්සේගේ වචනය මුලින්ම පැන නැගුණේ ඔබ වෙතින් ද? නැතහොත් එය ළඟා වූ එකම ජනයා ඔබ පමණක් ද?</verse>
				<verse number="37">තමා දිවැසිවරයෙක් ය, ආත්මික කෙනෙක් ය කියා යමෙක් සිතන්නේ නම්, මා ඔබට ලියන දෑ ස්වාමින්වහන්සේගේ ආඥාවක් වග ඔහු ඒත්තු ගත යුතු ය.</verse>
				<verse number="38">මේ දෑ හඳුනා නො ගන්නා ද හඳුනා නො ගැනේ.</verse>
				<verse number="39">එබැවින් මා සහෝදරයිනි, දිවැස් වැකි පැවසීමට ආශා වන්න. අන්‍ය භාෂා කථනය තහනම් නො කරන්න.</verse>
				<verse number="40">එහෙත් හැම දෙයක්ම සුදුසු පරිදි, පිළිවෙලකට කළ යුතුව ඇත.</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">සහෝදරයිනි දැන්, මා ඔබට දේශනා කළ, ඔබ පිළිගත්, ඔබ පිහිටා සිටින ශුභාරංචිය ඔබට මතක් කරනු කැමැත්තෙමි.</verse>
				<verse number="2">ඒ මඟින් ඔබ ගැලවීම ලබන්නේ ද මා ඔබට පැවසූ වචනය ඔබ තරකොට අල්ලා ගතහොත් ය. නැතහොත් ඔබ විශ්වාස කර ඇත්තේ නිෂ්ඵලව ය.</verse>
				<verse number="3">ප්‍රමුඛව වැදගත් වූ දේ ලෙස මා ඔබට භාර කළේ, මා ද ලබාගත් දේ ය. එනම්, ශුද්ධ ලියවිල්ල පරිදි, ක්‍රිස්තුස්වහන්සේ අපේ පාප උදෙසා මැරුණ බවත්,</verse>
				<verse number="4">උන්වහන්සේ වළලනු ලැබූ බවත්, ශුද්ධ ලියවිලි පරිදි තුන් වන දවසේ උන්වහන්සේ නැගිටුවනු ලැබූ බවත්,</verse>
				<verse number="5">උන්වහන්සේ කේපස්ට ද ඉන්පසුව දොළොස් දෙනාට ද පෙනුණු බවත් ය.</verse>
				<verse number="6">ඉන්පසු උන්වහන්සේ සහෝදරයින් පන්සියයකට වඩා වැඩි දෙනකුට එකවර පෙනුණු සේක. එයින් ඇතමකු සැතපී ඇති නමුදු, ඉන් වැඩිදෙනා තවමත් ජීවත්ව සිටිති.</verse>
				<verse number="7">ඉන්පසු උන්වහන්සේ පෙනුණේ යාකොබ්ටත්, ඊටත් පසු සියලු අපෝස්තුලුවරුනටත්,</verse>
				<verse number="8">සියල්ලන්ටම පසු අකලට උපන්නකු වැනි වූ මටත් ය.</verse>
				<verse number="9">මන්ද අපෝස්තුලුවරුන් අතරින් ඉතාම සුළු තැනැත්තා මා ය; දෙවියන්වහන්සේගේ සභාවට පීඩා කළ බැවින්, අපෝස්තුලුවරයෙකැයි කියනු ලබන්නටවත් මම නො වටිමි.</verse>
				<verse number="10">එහෙත් මා කවර තත්වයක සිටිනවා ද, එසේව සිටින්නේ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙනි. මා වෙත වූ උන්වහන්සේගේ අනුග්‍රහය නිෂ්ඵල වූයේ නැත. ඇත්තටම ඒ හැමට වැඩියෙන් මම වෙහෙසී වැඩ කළෙමි. එහෙත්, මා නො ව, මා සමඟ වූ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයයි.</verse>
				<verse number="11">එබැවින් ඒ මා හෝ ඔවුන් හෝ වේවා, අපි එය දේශනා කරන්නෙමු; ඔබ එය විශ්වාස කළහ.</verse>
				<verse number="12">ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කරනු ලබන්නේ, මළවුන්ගෙන් නැගිටුවන ලද, වශයෙන් නම්, මළවුන් නැගිටීමක් නැතැයි ඔබ ඇතමකු කියන්නේ කෙසේ ද?</verse>
				<verse number="13">මළවුන් නැගිටීමක් නැතිනම්, ක්‍රිස්තුස්වහන්සේ ද නැගිටුවනු ලැබ නැත.</verse>
				<verse number="14">ක්‍රිස්තුස්වහන්සේ නැගිටුවනු ලැබ නැතිනම්, අපගේ දේශනා කිරීම නිෂ්ඵල ය; ඔබගේ ඇදහිල්ලත් නිෂ්ඵල ය.</verse>
				<verse number="15">දෙවියන්වහන්සේ විසින් ක්‍රිස්තුස්වහන්සේ නැගිටුවන ලදැයි උන්වහන්සේ ගැන අප සාක්ෂි දී ඇති බැවින්, අප ද දෙවියන්වහන්සේ ගැන බොරු සාක්ෂි දුන් අය සේ ගැනේ. මන්ද මළවුන් නැගිටීමක් නැති වග සත්‍යය නම්, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේ නැගිටුවනු ලැබ නැත.</verse>
				<verse number="16">මන්ද මළවුන් නැගිටීමක් නැතිනම්, ක්‍රිස්තුස්වහන්සේ ද නැගිටුවනු ලැබ නැත.</verse>
				<verse number="17">ක්‍රිස්තුස්වහන්සේ නැගිටුවනු ලැබුවේ නැතිනම්, ඔබගේ ඇදහිල්ල ද නිරර්ථක ය; ඔබ තවමත් ඔබේ පාපවල ය.</verse>
				<verse number="18">එසේ නම්, ක්‍රිස්තුස්වහන්සේ තුළ සැතපුණු අය ද විනාශ වූවෝ වෙති.</verse>
				<verse number="19">ක්‍රිස්තුස්වහන්සේ තුළ අපට ඇති බලාපොරොත්තුව, මේ ජීවිතය තුළ පමණක් නම්, සියලු මිනිසුන්ට වඩා අනුකම්පා ලැබිය යුත්තෝ ද අපම ය.</verse>
				<verse number="20">එහෙත් සත්‍ය මෙයයි; සැතපුණු සියල්ලන්ගේ නාඹුල් පලයව ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවනු ලැබූ සේක්ම ය.</verse>
				<verse number="21">මන්ද මිනිසකු මඟින් මරණය පැමිණි සේ ම, මළවුන්ගෙන් නැගිටීම ද මිනිසකු මඟින් පැමිණේ.</verse>
				<verse number="22">මන්ද ආදම් තුළ හැමෝම මැරෙන්නා සේ, ක්‍රිස්තුස්වහන්සේ තුළ සියල්ලෝ ජීවනයට ගෙනෙනු ලබති.</verse>
				<verse number="23">ඒ එකිනෙකාගේ තත්වයට අනුව ය. නාඹුල් පලය ක්‍රිස්තුස්වහන්සේ ය. අනතුරුව උන්වහන්සේ යළි පැමිණෙන කල, උන්වහන්සේට අයිතිවූවන් ය.</verse>
				<verse number="24">අවසානය පැමිණෙන්නේ, ක්‍රිස්තුස්වහන්සේ හැම පාලනයක්, හැම ආධිපත්‍යයක් හා බලය විනාශ කර, පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේට රාජ්‍යය බාර දුන් විට ය.</verse>
				<verse number="25">මන්ද උන්වහන්සේගේ සියලු සතුරන් උන්වහන්සේගේ පයට යටත් කරන තෙක්, උන්වහන්සේ රජකම් කළ යුතුම ය.</verse>
				<verse number="26">සුන් කර දමනු ලබන්නට සිටින අවසාන සතුරා මරණයයි.</verse>
				<verse number="27">දෙවියන්වහන්සේ, “සියලු දේම එතුමාණන්ගේ පයට යටත් කළ සේකැ” යි ශුද්ධ ලියවිල්ල පවසයි. එහෙත්, උන්වහන්සේගේ පයට සියලු දේම යටත් කළ තැනැන්වහන්සේ, ඒ “සියලු දේම” යන්නට ඇතුළත් නො වන බැව් පැහැදිලි ය.</verse>
				<verse number="28">මෙසේ, සියලු දේම උන්වහන්සේට යටත් කරනු ලැබූ පසු, ඒ සියලු දේම තමනට යටත් කළ දෙවියන්වහන්සේට පුත්‍රයාණන් ද යටත් වන සේක. එසේ වනුයේ, සෑම සියල්ලේ පූර්ණ පරමාධිපත්‍යය දෙවියන්වහන්සේම වන පිණිස ය.</verse>
				<verse number="29">අනෙක් අතට මළවුන් නැගිටීමක් නැතිනම්, මළවුන් උදෙසා බව්තීස්ම කරනු ලැබීමේ තේරුම කුමක් ද? මළවුන් නැගිටුවීමක් කොහෙත්ම නො වේ නම්, ඔවුන් උදෙසා මිනිසුන් බව්තීස්ම කරන්නේ මන්ද?</verse>
				<verse number="30">හැම පැයකදීම උපද්‍රවයන්ට අප මුහුණ පාන්නේ මන්ද?</verse>
				<verse number="31">සහෝදරයිනි, හැම දිනෙකම මා මැරෙනවායි මා ප්‍රකාශ කරන්නේ, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ තුළ ඔබ ගැන මට ඇති ආඩම්බරයෙනි.</verse>
				<verse number="32">එපීසයේදී මා වන මෘගයින් සමඟ පොර බැදුවේ හුදු මිනිස් පෙලඹවීමෙන් නම්, මට එයින් ලැබෙන්නේ කුමක් ද? මළවුන් නැගිටුවනු නො ලැබේ නම්, “හෙට අප මියෙන බැවින්, අද අපි කමු; බොමු.”</verse>
				<verse number="33">නො රැවටෙන්න: “නරක ඇසුරින් හොඳ චරිත දූෂ්‍ය වේ.”</verse>
				<verse number="34">යුතු පරිදි සිහි කල්පනාවට යළි පැමිණ, පව් කිරීම නවතන්න. දෙවියන්වහන්සේ ගැන නො දන්නා අය ඔබ අතරේ වෙතැයි මා කියන්නේ ඔබට ලජ්ජා වන්නට ය.</verse>
				<verse number="35">“මළවුන් නැගිටුවන්නේ කෙසේ ද? ඔවුන් නැගිට එන්නේ කවර ආකාර ශරීරයකින් දැ?” යි යමෙක් අසනු ඇත.</verse>
				<verse number="36">අඥානය, ඔබ වපුරන බීජය මළොත් මිසක, රෝපණය වී ජීවනයට එන්නේ නැත.</verse>
				<verse number="37">ඔබ වපුරන්නේ මතු ඇති වන පැළෑටි කඳ නො ව, ඇතැම් විට, තිරිඟු හෝ අන් වර්ගයක හෝ බීජයක් පමණ ය.</verse>
				<verse number="38">එහෙත් තමන්වහන්සේ නියම කළ පරිද්දෙන්, ඊට කඳක් දෙන්නේ දෙවියන්වහන්සේ ය. උන්වහන්සේ සෑම බීජයකට ඊට ආවේණික කඳන් දෙන සේක.</verse>
				<verse number="39">සියලු මාංස ද එකාකාර නැත. මනුෂ්‍යය මාංස එක් ආකාරයකි. මෘගයින්ගේ වෙන අයුරකි. පක්ෂීන්ගේ තව අයුරකි. මත්ස්‍යයින්ගේ වෙනත් අයුරකි.</verse>
				<verse number="40">ආකාශ වස්තු ද භූමික වස්තු ද ඇත. ආකාශ වස්තුවල ශෝභාව එක් අයුරකි. භූමික වස්තුවල ශෝභාව වෙන අයුරකි.</verse>
				<verse number="41">සූර්යයාගේ ශෝභාව එක් අයුරකි. චන්ද්‍රයාගේ ශෝභාව වෙන අයුරකි. තාරකාවල ශෝභාව තව අයුරකි. එක් තාරකාවක් ශෝභාවෙන් තවත් තාරකාවකට වෙනස් ය.</verse>
				<verse number="42">මළවුන් නැගිටීම පිළිබඳව ද එසේම ය. වපුරනු ලබන්නේ දිරා යන්නකි; නැගිටුවනු ලබන්නේ නො දිරා යන්නකි.</verse>
				<verse number="43">වපුරනු ලබන්නේ අගෞරවයෙනි; නැගිටුවනු ලබන්නේ තේජසිනි. වපුරනු ලබන්නේ දුබලව ය; නැගිටුවනු ලබන්නේ බලයෙන් යුතුව ය.</verse>
				<verse number="44">වපුරනු ලබන්නේ ස්වාභාවික ශරීරයකි; නැගිටුවනු ලබන්නේ ආත්මික ශරීරයකි. ස්වාභාවික ශරීරයක් වේ නම්, ආත්මික ශරීරයක් ද වෙයි.</verse>
				<verse number="45">මෙසේ ලියා ඇති පරිදි: “පළමු මිනිසා, ආදම් ජීවමාන පුද්ගලයෙක් විය. අවසාන ආදම් ජීවනදායක ආත්මයක් විය.”</verse>
				<verse number="46">එසේ වුව ද, පළමුව එන්නේ ආත්මික දේ නො ව ස්වාභාවික දේයි. ආත්මික දේ ඉන් පසුවයි.</verse>
				<verse number="47">පළමු මිනිසා භූමියෙනි; දූවිල්ලෙන් වූ මිනිසෙකි. දෙවන මිනිසා ස්වර්ගයෙනි.</verse>
				<verse number="48">භූමිකයා යම් සේ ද භූමියෙන් වූවෝ ද එසේම ය. ස්වර්ගිකයාණන් යම් සේ ද, ස්වර්ගීක වූවෝ ද එසේම ය.</verse>
				<verse number="49">අප, දූවිල්ලෙන් වූ තැනැත්තාගේ ස්වරූපය දැරූ සේ ම, ස්වර්ගීය තැනැත්තාණන්ගේ ස්වරූපය ද දරන්නෙමු.</verse>
				<verse number="50">සහෝදරයිනි, මසට හා ලෙයට දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුම කර ගත නො හැකි වග, දිරා යන දේට නො දිරන දේ උරුම නැති වග මම ඔබට ප්‍රකාශ කරමි.</verse>
				<verse number="51">මේ අහන්න! මම ඔබට අබිරහසක් පවසමි; අප සියල්ලන් සැතපෙන්නේ නැත. එහෙත් අපි හැම වෙනස් කරනු ලබන්නෙමු.</verse>
				<verse number="52">සැණෙක, ඇසි පිය ගසද්දී, අන්තිම හොරණෑ හඬ සමඟම එය වෙයි. මන්ද හොරණෑව හැඬවෙන කල, මළාහු අමරණ ස්වභාවයෙන් නැගිටුවනු ලබන්නෝ ය; අපිදු වෙනස් කරනු ලබන්නෙමු.</verse>
				<verse number="53">මන්ද දිරා ජරාවට යන මෙම සිරුර, නො දිරන භාවයෙන් ද මැරෙන සුළු මෙම සිරුර, අමරණ භාවයෙන් ද පැලඳවිය යුතු ය.</verse>
				<verse number="54">මෙසේ දිරා යන දේ නො දිරන බවින් ද මරණයට පත් වන දේ අමරණ බවින් ද පැලඳූ කල, ලියා ඇති කියමන ඉටු වෙයි; එනම්: “විජයග්‍රහණයේදී මරණය ගිල දමන ලදී.”</verse>
				<verse number="55">“එම්බා මරණය, තගේ ජය කොහි ද? එම්බා මරණය, තගේ විස දළ කොහි ද?”</verse>
				<verse number="56">මරණයේ විෂ දළය පාපයයි. පාපයේ බලය දහම් නීතියයි.</verse>
				<verse number="57">එහෙත් දෙවියන්වහන්සේට ස්තුති වේවා! උන්වහන්සේ, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මඟින් අපට ජය දෙන සේක.</verse>
				<verse number="58">එබැවින්, මා ප්‍රේමණීය සහෝදරයිනි, නො සැලී, ස්ථිරව සිටින්න. ස්වාමින්වහන්සේට ඔබගේ වෙහෙසීම අපතේ නො යන බැව් ඔබ දන්නා බැවින්, නිබඳව ස්වාමින්වහන්සේගේ වැඩෙහි වඩ වඩා යෙදෙන්න.</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">දැන්, ශුද්ධවතුන්ට සම්මාදම් ගැන: මා ගලාතියෙහි සභා යොමු කළ දෑට ඔබත් යොමු වන්න.</verse>
				<verse number="2">මා ආ කල, සම්මාදම් එකතු කරන්නට සිදු නො වන පිණිස, හැම සතියකම පළමු දින ඔබ හැම කෙනකුම, තම ලැබීම් අනුව කොටසක් වෙන් කර, එකතු කර තබන්න.</verse>
				<verse number="3">මා ආ කල, ඔබේ ඒ දීමනා, රැගෙන යෑමට සුදුස්සන් යයි ඔබේ අනුමැතිය ලද්දවුන්, ලිපි සමඟ යෙරුසලමට යවන්නෙමි.</verse>
				<verse number="4">ඒ ගමනට මාගේ යෑම ද යෝග්‍යයැයි පෙනේ නම්, ඔවුන් මා සමඟ යනු ඇත.</verse>
				<verse number="5">මකිදෝනිය හරහා යෑමට මා අදහස් කර සිටින නිසා, මකිදෝනිය හරහා ගිය පසු, ඔබ වෙත එන්නෙමි.</verse>
				<verse number="6">පසුව මා කොතැනකට යතත්, මගේ ගමනට ඔබේ උපකාරය ලැබෙන පිණිස, ඇතැම් විට මද කලක් හෝ ශීත සෘතුවම, ඔබ හා නවතින්නට මට හැකි වෙයි.</verse>
				<verse number="7">දැන්ම පැමිණ යන්තම් ගොඩවැදී යෑමට කැමැත්තක් නැති බැවින්, ස්වාමින්වහන්සේ අවසර දෙන සේක් නම්, කලක් ඔබ හා නැවතී සිටීම මගේ බලාපොරොත්තුවයි.</verse>
				<verse number="8">කෙසේ වෙතත් පෙන්තකොස්තය දක්වා මම එපීසයෙහි ගත කරමි.</verse>
				<verse number="9">මන්ද මහත් පලදායි සේවාවකට පුළුල් දොරක් මට ඇරී තිබේ. බොහෝ විරුද්ධවාදීහු ද මෙහි වෙති.</verse>
				<verse number="10">තිමෝති ඇවිත් ඔබ අතර සිටින අතරතුර, අපහසුතාවක් නැතිව සිටින්නට ඔහුට ඉඩ සලසන්න; මන්ද ඔහු කරන්නේ ද මා මෙන්ම ස්වාමින්වහන්සේගේ වැඩයි.</verse>
				<verse number="11">එබැවින් කිසිවකු ඔහු සුළු කොට නො සලකත්වා; මා වෙත සාමයෙන් ආපසු එන පිණිස, ඔහුගේ ගමනට උපකාර කරන්න; සෙසු සහෝදරයින් සමඟ ඔහුගේ පැමිණීම මම බලාපොරොත්තුව සිටිමි.</verse>
				<verse number="12">දැන්, අප සහෝදර අපොල්ලොස් ගැන: අනෙක් සහෝදරයින් සමඟ ඔබ වෙත එන්නැයි මා ඕනෑකමින් ඉල්ලා සිටියත්, දැන්ම ඒමට ඔහු කොහෙත්ම කැමති නැත. එහෙත් ඉඩ ලැබුණු කල ඔහු එනු ඇත.</verse>
				<verse number="13">කල්පනාකාරීව සිටින්න; ඇදහිල්ලේ නො සැලී සිටින්න; පුරුෂයින් සේ ක්‍රියා කරන්න; ශක්තිමත් වන්න.</verse>
				<verse number="14">ඔබ කරන හැම දෙයක්ම ප්‍රේමයෙන් යුතුව කරන්න.</verse>
				<verse number="15">අකායයෙන් මුලින්ම හැරුනවුන් වන්නේ ස්තේපනස් පවුල බවත්, ශුද්ධවතුන්ගේ සේවයට ඔවුන් කැමැත්තෙන් කැප වූ බවත් ඔබ දනිති. එබැවින් සහෝදරයිනි, මා උදක්ම ඔබෙන් ඉල්ලන්නේ,</verse>
				<verse number="16">එවැන්නවුනට හා ඔවුන් සමඟ වැඩට සහාය වන්නන්ට හා වෙහෙස වන්නන්ට යටත් වන ලෙසයි.</verse>
				<verse number="17">ස්තේපනස්, පොර්තුනාතුස් හා අකයිකස් යන අයගේ පැමිණීම ගැන මම ප්‍රීති වෙමි. මන්ද ඔබට නො හැකි වූ දේ ඔවුන්ගෙන් ලැබිය හැකි වූ හෙයිනි.</verse>
				<verse number="18">මන්ද ඔවුහු මගේ මෙන්ම ඔබේ ආත්මය ප්‍රබෝධවත් කළහ. මෙවැන්නන් අගේ කොට සලකන්න.</verse>
				<verse number="19">ආසියාවේ සභා ඔබට ආචාර කරති. අකිලා හා ප්‍රිස්කා ඔවුන්ගේ නිවසේ සභාව සමඟ ස්වාමින්වහන්සේ තුළ ඔවුන්ගේ උණුසුම් ආචාරය ඔබට එවති.</verse>
				<verse number="20">සහෝදර සැවොම ඔබට ආචාර කරති. ශුද්ධ සිපාචාරයකින් එකිනෙකාට සමාචාර දක්වන්න.</verse>
				<verse number="21">මම පාවුල්, මගේම අතින් මේ ආචාරය ලියමි.</verse>
				<verse number="22">යමෙක් ස්වාමින්වහන්සේට ප්‍රේම නො කරනවා නම්, ඔහු ශාප ලද්දෙක්ම වේවා! අපගේ ස්වාමින්වහන්ස, එනු මැනව!</verse>
				<verse number="23">යේසුස් ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබ සමඟ වේවා!</verse>
				<verse number="24">මාගේ ප්‍රේමය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබ හැම සමඟ පවතී. ආමෙන්!</verse>
			</chapter>
		</book>
		<book number="47">
			<chapter number="1">
				<verse number="1">දෙවියන්වහන්සේගේ කැමැත්ත අනුව ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වූ පාවුල් හා අපගේ සහෝදර තිමෝති වෙතින්, කොරින්තියෙහි දෙවියන්වහන්සේගේ සභාව හා අකාය පුරා සිටින සියලු ශුද්ධවන්තයින් වෙතයි.</verse>
				<verse number="2">අපගේ පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගෙන් ද යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගෙන් ද ඔබට අනුග්‍රහ ලැබේවා; සාමය වේවා!</verse>
				<verse number="3">යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දෙවියන්වහන්සේ ද පියාණන්වහන්සේ ද වන දයාවේ පියාණන්වහන්සේ හා සකල සැනසිල්ලේ දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා.</verse>
				<verse number="4">දෙවියන්වහන්සේ විසින් අප සනසනු ලබන සැනසිල්ල මඟින්, කවර පීඩාවකට පත්වූවන් වුව ද, සැනසීමට අපට හැකි වන පිණිස, අපගේ සියලු පීඩාවලදී උන්වහන්සේ අප සනසන සේක.</verse>
				<verse number="5">ක්‍රිස්තුස්වහන්සේගේ දුක්-පීඩාවලට අප අධික ලෙස පංගුකාර වන්නේ යම් සේ ද, එලෙසම ක්‍රිස්තුස්වහන්සේ මඟින් සැනසිල්ලටත් අපි අධික ලෙස පංගුකාර වන්නෙමු.</verse>
				<verse number="6">අප පීඩා විඳිනවා නම්, ඒ ඔබගේ සැනසීම හා ගැලවීම සඳහා ය. අප සැනසීම ලබනවා නම්, ඒ අප විඳින පීඩා ඔබත් ඉවසීමෙන් විඳ දරා ගැනීමෙන්, ඔබ අත්විඳින ඔබගේ සැනසීම සඳහා ය.</verse>
				<verse number="7">ඔබ ගැන අපගේ බලාපොරොත්තුව නො සැලේ; මන්ද අපගේ විඳවීම්වලට ඔබ පංගුකාර වන කල අපගේ සැනසිල්ලටත් ඔබ පංගුකාර වන බැව් අප දන්නා බැවිනි.</verse>
				<verse number="8">සහෝදරයිනි, ආසියාවේදී අප අත්විඳි දුක් ගැහැට ගැන ඔබ නො දැන සිටිනවාට අප කැමති නැත. ජීවිතය ගැන පවා බලාපොරොත්තු නැති වන තරමට, අපේ ශක්තියට ඉහුලුම් නො දෙන තරම් මහ බර අප පිට පැටවුණි.</verse>
				<verse number="9">ඇත්තෙන්ම මරණ තීන්දුව ලැබූ සෙයක් අපට හැඟිණි. එහෙත් එසේ වූයේ, අප කෙරෙහිම නො ව, මළවුන් නැගිටුවන දෙවියන්වහන්සේ මත අප රඳා සිටින පිණිස ය.</verse>
				<verse number="10">ඒ සා මාරක උපද්‍රවයකින් අප ගැලවූ උන්වහන්සේ මතු ද අප ගලවන සේක. යළිත් උන්වහන්සේ අප ගලවන බවට අපි උන්වහන්සේ මත බලාපොරොත්තු තබා සිටින්නෙමු.</verse>
				<verse number="11">බොහෝ දෙනකුගේ යාච්ඤා මඟින් අපට ප්‍රදාන කරන ලද ආශිර්වාද ගැන, අප හේතු කොට බොහෝ දෙනකු ස්තුති කරන පිණිස, ඔබත් යාච්ඤාවෙන් අපට උපකාර කළ යුතු ය.</verse>
				<verse number="12">අපගේ පාරට්ටුව මෙයයි: ලෝකයේදීත්, විශේෂයෙන්ම ඔබ සම්බන්ධවත් අපගේ හැසිරීම, භූමික ප්‍රඥාවෙන් නො ව, දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් ලද ශුද්ධකමින් හා දේව භක්තික අවංකත්වයෙන් බවට අපගේ හෘදය සාක්ෂියේ ඇති සහතිකයයි.</verse>
				<verse number="13">මන්ද ඔබට කියවන්නටත්, තේරුම් ගන්නටත් අපහසු කිසිවක් අප ඔබට ලියන්නේ නැත. මගේ බලාපොරොත්තුව ඔබ මුළුමනින්ම වටහා ගනු ඇත කියා ය; එනම්,</verse>
				<verse number="14">අප ගැන අසම්පූර්ණව ඔබ වටහා ගත් සේ ම, යේසුස් අප ස්වාමින්වහන්සේගේ දවසේදී අප ඔබ ගැන ආඩම්බර වන්නා සේ ම, ඔබත් අප ගැන ආඩම්බර වන පිණිස, ඔබ සම්පූර්ණයෙන්ම වටහාගනී කියායි.</verse>
				<verse number="15">මේ ගැන මට සහතික බැවින්, අනුග්‍රහයේ දෙවන අත්දැකීමක් ඔබට ලැබෙන පිණිස, පළමු කොට ඔබ වෙත එන්නට සැලසුම් කළෙමි.</verse>
				<verse number="16">මට ඕනෑ වූයේ, මකිදෝනිය බලා මා යද්දී ඔබ වෙත එන්නටත්, මකිදෝනියේ සිට ආපසු එද්දී යළි ඔබ වෙත එන්නටත්, එතැන් සිට යුදය දක්වා මගේ ගමන ඔබ ලවා ඇරලවා ගන්නටත් ය.</verse>
				<verse number="17">මෙසේ කරද්දී මා ක්‍රියා කළේ දෙගිඩියාවකින් ද? මා සැලසුම් කරන්නේ එකම විටෙක, “ඔව්, ඔව්, නැහැ, නැහැ” කියැවෙන සේ මාංසයට අනුව ද?</verse>
				<verse number="18">දෙවියන්වහන්සේ විශ්වාසනීය වග සැබෑ සේ ම, අප ඔබට පැවසූ වචනය, “ඔව්” හා “නැහැ” යන්නක් නො වේ.</verse>
				<verse number="19">මන්ද සිල්වානස්, තිමෝති හා මා යන අප විසින් ඔබ අතරේ ප්‍රකාශිත දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, “ඔව්” හා “නැහැ” නො වේ. උන්වහන්සේ තුළ හැම විටම “ඔව්” ය.</verse>
				<verse number="20">මන්ද දෙවියන්වහන්සේගේ සියලු පොරොන්දු, උන්වහන්සේ තුළ “ඔව්” වේ. උන්වහන්සේගේ ගෞරවය පිණිස අප දෙවියන්වහන්සේට අපගේ “ආමෙන්!” යන්න උන්වහන්සේ තුළින් පවසන්නේ එබැවිනි.</verse>
				<verse number="21">ඔබ සමඟ අප ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්ථාපිත කරන්නේ දෙවියන්වහන්සේම ය. අප ආලේප කළ උන්වහන්සේ,</verse>
				<verse number="22">අප පිට ස්වකීය මුද්‍රාව තබා, ඇපයක් වශයෙන් ස්වකීය ආත්මයාණන් ද අප හදවත් තුළ තැබූ සේක.</verse>
				<verse number="23">යළිත් මා කොරින්තිය වෙත පැමිණීමෙන් වැළකුණේ, ඔබගේ සිත් නො රිදවීමට බැව් සාක්ෂි දීමට මම දෙවියන්වහන්සේට හඬ ගසමි.</verse>
				<verse number="24">ඔබගේ ඇදහිල්ල ගැන අප අධිපතිකම් කරන්නේ නැත. ඔබගේ ප්‍රීතිය උදෙසා අපි ඔබ සමඟ සේවය කරන්නෙමු. මන්ද ඔබ ස්ථිරව සිටගෙන සිටින්නේ ඇදහිල්ලේ ය.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">එබැවින් තවත් වේදනාකාරී බැහැදැක්මක් නො කිරීමට මම සිතින් නියම කර ගතිමි.</verse>
				<verse number="2">මන්ද මා, ඔබ වේදනාවට පත් කළහොත්, මා විසින් වේදනාවට පත් කරන ලද්දවුන් මිස, මා සොම්නස් කරන්නට ඉන්නේ වෙන කවුරු ද?</verse>
				<verse number="3">මා ඔබට ලියා එවුවේ මා පැමිණි කල, මා සොම්නස් කරන්නට යුතු වූවන් වෙතින්ම මා වේදනාවට පත් නො වන පිණිස ය. මන්ද මාගේ ප්‍රීතිය, ඔබ හැමගේත් ප්‍රීතිය වන බවට ඔබ හැම ගැන නිසැක හැඟීමක් මට තිබිණි.</verse>
				<verse number="4">මන්ද හදවතේ දැඩි පීඩනයකින් හා සන්තාපයෙන් ද නෙතේ පිරි කඳුළින් ද යුතුව මා ඔබට ලියුවේ, ඔබ වේදනාවට පත් කිරීමට නො ව, ඔබට ඇති මගේ ප්‍රේමය කොතරම් අධිකදැයි ඔබ දැනගන්නා පිණිස ය.</verse>
				<verse number="5">යමකු වේදනාවක් ඇති කළා නම්, ඔහු එය ඇති කළේ මට නො ව, තරමක් දුරකට ඔබ හැමට ය. එසේ කීවේ තත්වය වඩා උග්‍ර කර නො දැක්වීමට ය.</verse>
				<verse number="6">ඒ තැනැත්තාට, වැඩි දෙනාගෙන් ලද දඬුවම ප්‍රමාණවත් ය.</verse>
				<verse number="7">එබැවින් දැන් ඊට වඩා ඔහුට කමා වීමට නැඹුරු වී, ඔහු අස්වැසීම යුතු ය. නැතහොත් ඒ අධිකතර ශෝකයෙහි ඔහු ගිලී යා හැකි ය.</verse>
				<verse number="8">එබැවින් ඔහුට ඇති ඔබේ ප්‍රේමය යළි තහවුරු කර දක්වන මෙන් ඔබෙන් උදක්ම ඉල්ලමි.</verse>
				<verse number="9">මා ඔබට ලියුවේ, හැම කරුණකදීම ඔබ කීකරු වේදැයි පරීක්ෂා කර දැනගැනීමට ය.</verse>
				<verse number="10">ඔබ යමකුට කමා වන්නේ නම්, මමත් ඔහුට කමා වෙමි. මා එසේ කමා වී නම්, කමා වී ඇත්තේ ක්‍රිස්තුස්වහන්සේ ඉදිරියේ ය.</verse>
				<verse number="11">එසේ කළේ සාතන් උපායශීලීව අප නො රවටන පිණිස ය; මන්ද උගේ උපක්‍රම අප නො දන්නවා නො වේ.</verse>
				<verse number="12">ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය දේශනා කරන්නට මා ත්‍රෝවසට ආ කල, ස්වාමින්වහන්සේ තුළ එහි මට දොරක් විවරව තිබුණ ද,</verse>
				<verse number="13">මා සහෝදර තීතස් එහිදී හමු නො වූ බැවින්, මගේ ආත්මයට සැනසීමක් නො විණි. එබැවින් මම ඔවුන්ගෙන් සමුගෙන, මකිදෝනිය බලා ගියෙමි.</verse>
				<verse number="14">එහෙත් හැම විට ක්‍රිස්තුස්වහන්සේ තුළ ජය පෙරහැරෙහි අප ගෙන යන්නාවූත්, උන්වහන්සේ දැන ගැනීමේ සුවඳ අප මඟින් හැම තැන පතුරවන්නාවූත් දෙවියන්වහන්සේට ස්තුති වේවා!</verse>
				<verse number="15">මන්ද ගැලවෙන්නන් අතරේ ද විනාශවන්නන් අතරේ ද දෙවියන්වහන්සේට ක්‍රිස්තුස්වහන්සේගේ මිහිරි සුවඳ අප ය.</verse>
				<verse number="16">එක කණ්ඩායමකට මරණය පිණිස මරණයේ සුවඳක් ය; අනෙක් කණ්ඩායමට ජීවනය පිණිස ජීවනයේ සුවඳක් ය. එවන් කාරියකට සමතා කවුරු ද?</verse>
				<verse number="17">මන්ද දෙවියන්වහන්සේ විසින් යවන ලද අවංක මිනිසුන් හැටියට, දෙවියන්වහන්සේ ඉදිරියේ ක්‍රිස්තුස්වහන්සේ තුළ කතා කරන්නන් විනා, අන් බොහෝ දෙනකු මෙන් අප දෙවියන්වහන්සේගේ වචනය ලාභ ලබන වෙළඳ බඩුවක් කරගෙන නැත.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">අප නැවතත්, අප ගැනම වර්ණනාව පටන් ගන්නවා ද? නැතහොත් ඇතමුන්ට සේ අපටත් ඔබට හෝ ඔබගෙන් හෝ රෙකමදාරු ලිපි ඕනෑ ද?</verse>
				<verse number="2">හැමටම දැනගැනීමටත්, කියවීමටත් අපගේ හදවත් මත ලියන ලද අපගේ රෙකමදාරු ලිපිය ඔබ ය.</verse>
				<verse number="3">අප විසින් බෙදා හරින ලද ක්‍රිස්තුස්වහන්සේ වෙතින් වූ ලිපිය, ඔබ බැව් ඔබම පෙන්වයි; එය ලියා ඇත්තේ තීන්තෙන් නො ව, ජීවමාන දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගෙනි; ගල් පුවරුවල නො ව, මිනිස් හද-පුවරුවල ය.</verse>
				<verse number="4">ක්‍රිස්තුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේ වෙත අපට ඇත්තේ එවැනි සහතිකයකි.</verse>
				<verse number="5">කිසිවක් අපේම සමත්කමින් වී යැයි කීමට අපට නුපුළුවන. අපේ සමත්කම දෙවියන්වහන්සේ වෙතින් ය.</verse>
				<verse number="6">අලුත් ගිවිසුමක සේවකයින් ලෙසට අප සමත් කළේ උන්වහන්සේ ය. ඒ ගිවිසුම ලිඛිත එකක් නො ව ආත්මයාණන්ගෙනි. මන්ද ලේඛනය මරා දමන්නේ ය; ආත්මයාණෝ ජීවත් කරවන සේක.</verse>
				<verse number="7">ගලේ කෙටූ අකුරින් යුතු මරණයේ සේවාව, හීන වෙමින් තිබූ තේජසින් යුතු මෝස‍ෙස්ගේ මුහුණ දෙස ඉශ්‍රායෙල් ජනයාට එක එල්ලේ බලන්නට බැරි තරමේ තේජසකින් පැමිණියේ නම්,</verse>
				<verse number="8">ආත්මයාණන්ගේ සේවාව ඊට වඩා බොහෝ වැඩියෙන් තේජවත් නො වන්නේ ද?</verse>
				<verse number="9">මන්ද වරදට පත්කිරීමේ සේවාව, තේජසින් යුතු වී නම්, ධර්මිෂ්ඨකමේ සේවාව, තේජසින් අතිශය වැඩි විය යුත්තේ ය.</verse>
				<verse number="10">ඇත්තෙන්ම, කලින් තේජසින් යුතු වූ දේ, එය අභිබවා ගිය තේජස හමුවේ දැන් තේජසක් නැති බවට පත්ව තිබේ.</verse>
				<verse number="11">මන්ද පහ වී යන දේ තේජසින් යුතුව පැමිණියේ නම්, සදා පවතින දේහි තේජස ඊට වඩා කොතරම් අධිකතර වේ ද!</verse>
				<verse number="12">එවැනි බලාපොරොත්තුවක් අපට ඇති බැවින් අප එඩිතර ය.</verse>
				<verse number="13">පහ වී යමින් තිබූ දෙයෙහි අවසානය දෙස, ඉශ්‍රායෙල් ජනයා නෙත් හෙළා නො සිටින පිණිස, තම මුහුණට වැස්මක් දමාගත් මෝස‍ෙස්ට අප සමාන නැත.</verse>
				<verse number="14">එහෙත් ඔවුන්ගේ මනස් දැඩි වී තිබිණි. මන්ද මේ අද දවස දක්වා පැරණි ගිවිසුම කියවන කල, එම වැස්ම ඉවත් නො කොට එලෙසම පවතී. මන්ද එය ඉවත් කරනු ලබන්නේ ක්‍රිස්තුස්වහන්සේ මඟින් පමණි.</verse>
				<verse number="15">අද දවසේ පවා මෝස‍ෙස්ගේ ලියවිලි කියවන කල, ඔවුන්ගේ හදවත් පිට වැස්මක් එළා තිබේ.</verse>
				<verse number="16">එහෙත් කෙනකු ස්වාමින්වහන්සේ වෙත හැරුණු කල, ඒ වැස්ම ඉවත් කෙරේ.</verse>
				<verse number="17">ඒ ස්වාමින්වහන්සේ, ආත්මයාණන්වහන්සේ ය. මෙසේ ස්වාමින්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ යම් තැනක ද, එතැන නිදහස ඇත.</verse>
				<verse number="18">එබැවින්, අපි සැවොම වැස්මෙන් තොර මුහුණින් ස්වාමින්වහන්සේගේ තේජස කැඩපතක් සේ පිළිබිඹු කරමින්, උන්වහන්සේගේ ස්වරූපයට තේජසින් තේජසට වෙනස් කරනු ලබන්නෙමු. එසේ වන්නේ ස්වාමින්වහන්සේ වන ආත්මයාණන්වහන්සේ වෙතිනි.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">එබැවින් මේ සේවය අපට දෙවියන්වහන්සේගේ දයාවෙන් ලැබී ඇති නිසා, අප අධෛර්යය වන්නේ නැත.</verse>
				<verse number="2">තවද ලජ්ජා සහගත රහස් මාර්ග අත්හළ අපි, වංචනිකව ක්‍රියා කිරීම හෝ දෙවියන්වහන්සේගේ වචනය විකෘති කිරීම ප්‍රතික්ෂේප කරන්නෙමු. අනෙක් අතට අපි, සත්‍යතාව ඇති සැටියෙන් ඉදිරිපත් කිරීමෙන් දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ හැම මිනිසකුගේම හෘදය සාක්ෂියට අප ගැන පැහැදීමක් දෙන්නෙමු.</verse>
				<verse number="3">එහෙත්, අපගේ ශුභාරංචිය වැසී තිබේ නම්, එසේ වැසී ඇත්තේ විනාශ වන්නන්ට පමණි.</verse>
				<verse number="4">එහිදී මේ ලෝකයේ දෙවියා නො ඇදහිලිවතුන්ගේ මනස් අන්ධ කරනු ලැබ ඇත්තේ, දෙවියන්වහන්සේගේ ස්වරූපය වන ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචියේ ආලෝකය ඔවුනට නො පෙනෙන පිණිස ය.</verse>
				<verse number="5">මන්ද අප ප්‍රකාශ කරන්නේ අප ගැන නො ව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, ස්වාමින්වහන්සේ වශයෙන් හා යේසුස්වහන්සේ උදෙසා අප ඔබගේ දාසයින් වශයෙනි.</verse>
				<verse number="6">මන්ද, “අන්ධකාරයෙන් ආලෝකය බැබළෙනු” යි කී දෙවියන්වහන්සේම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මුහුණෙන් දෙවියන්වහන්සේගේ තේජස දැනගැන්ම නැමති ආලෝකය අප හදවත්හි බැබළවූ සේක.</verse>
				<verse number="7">එහෙත් අනභිභවනීය බලය අයිති අපට නො ව, දෙවියන්වහන්සේට වග පෙන්වනු පිණිස, මෙම වස්තුව අපට ඇත්තේ මැටි බඳුන්වල ය.</verse>
				<verse number="8">අපි හැම පැත්තෙන්ම තදින් තෙරපනු ලබන්නෙමු; එහෙත් තැලී නැත. වියවුල් කරනු ලබන්නෙමු; එහෙත් බලාපොරොත්තු සුන්වී නැත.</verse>
				<verse number="9">වධ හිංසා කරනු ලබන්නෙමු; එහෙත් අත්හරිනු ලැබ නැත; ගසා හෙළනු ලබන්නෙමු; එහෙත් විනාශ වී නැත.</verse>
				<verse number="10">හැම විටම යේසුස්වහන්සේගේ මරණය අප ශරීරය තුළ ගෙන යන්නේ යේසුස්වහන්සේගේ ජීවනය ද අපගේ ශරීර තුළ ප්‍රකාශ වන පිණිස ය.</verse>
				<verse number="11">මැරෙන සුළු අප මාංසයේ යේසුස්වහන්සේගේ ජීවනය ප්‍රකාශ වන පිණිස, ජීවත්ව සිටින අපි නිරතුරු මරණයට භාර දෙනු ලැබ සිටිමු.</verse>
				<verse number="12">මෙසේ අප තුළ ක්‍රියාකාරීව ඇත්තේ මරණයයි; එහෙත් ඔබ තුළ ජීවනයයි.</verse>
				<verse number="13">“මම විශ්වාස කළෙමි; එබැවින් මම කතා කළෙමි” යි ලියා තිබෙන ලෙස ඇදහිල්ලේ එම ආත්මයෙන් යුතුව අපිදු විශ්වාස කරන්නෙමු; එබැවින් කතා කරන්නෙමු.</verse>
				<verse number="14">මන්ද යේසුස් ස්වාමින්වහන්සේ නැගිට වූ තැනැන්වහන්සේ, යේසුස්වහන්සේ සමඟ අප ද නැගිටුවන බවත්, ඔබ සමඟ අප තමන්වහන්සේ ඉදිරියට පමුණුවන බවත් අප දන්නා බැවිනි.</verse>
				<verse number="15">මන්ද දෙවියන්වහන්සේගේ අනුග්‍රහය, වඩ වඩා බොහෝ ජනතාවක් වෙත පැතිර යෑමෙන්, දෙවියන්වහන්සේගේ තේජෝමහිමයට නැගෙන ස්තුති දීම් අධික වන පිණිස මේ සියල්ල ඔබ උදෙසා ය.</verse>
				<verse number="16">අප අධෛර්යය නො වන්නේ එබැවිනි. පිටස්තර ස්වභාවයෙන් අපි ක්ෂය වෙමින් සිටින නමුදු, ඇතුළාන්ත ස්වභාවෙන් දවසින් දවස අලුත් වෙමින් සිටින්නෙමු.</verse>
				<verse number="17">මන්ද මෙම සුළු, තාවකාලික පීඩා, ඒ සියල්ල අතිශයින් ඉක්මවාලන සදාතනික තේජසකට මං සලසයි.</verse>
				<verse number="18">එබැවින් පෙනෙන්නට ඇති දේ දෙස නො ව, පෙනෙන්නට නැති දේ දෙස අපි දෑස් දල්වා සිටින්නෙමු. මන්ද පෙනෙන්නට ඇති දේ තාවකාලික ය; පෙනෙන්නට නැති දේ සදාතනික ය.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">අපගේ භූමික නිවාසය වන කූඩාරම විනාශ කරනු ලැබුවත්, මිනිස් අතින් නො සෑදුණු ස්වර්ගයේ සදාතනික නිවසක් වූ ගොඩනැගිල්ලක් දෙවියන්වහන්සේගෙන් අපට තිබෙන වග අපි දනිමු.</verse>
				<verse number="2">මන්ද ඒ ස්වර්ගීය නිවහන පැලඳ ගැනීමේ දැඩි ආශාවෙන් මේ කූඩාරමේ සිටියදී අපි කෙඳිරි ගාන්නෙමු.</verse>
				<verse number="3">ඇත්තෙන්ම අප එය පැලඳගත් කල, අප නග්නව සිටින වගක් නො පෙනෙනු ඇත.</verse>
				<verse number="4">මන්ද තවමත් මේ කූඩාරමේ සිටියදී බර දරමින් අප කෙඳිරි ගාන්නේ, නිරාවරණ වන්නට නො ව, මැරෙන සුළු වූ දේ ජීවනය මඟින් ගිල දමනු පිණිස වඩාත් හඳවනු ලබන්නට ය.</verse>
				<verse number="5">මේ අරමුණ සඳහාම අප පිළියෙල කළේ, ඇපයක් වශයෙන් ආත්මයාණන් අපට දුන් දෙවියන්වහන්සේම ය.</verse>
				<verse number="6">එබැවින් හැම විට අප සිටින්නේ නියත ධෛර්යයෙනි. ශරීරය තුළ අප මෙම නිවහනේ සිටියදී ස්වාමින්වහන්සේගෙන් අප දුරස්ථව සිටින බව අපි දනිමු.</verse>
				<verse number="7">මන්ද අප ජීවත් වන්නේ ඇදහිල්ලෙනි; දැකීමෙන් නො වේ.</verse>
				<verse number="8">අප පවසන්නේ නිසැක ධෛර්යයෙන් සිටින වග හා මේ ශරීරයෙන් වෙන්ව, ස්වාමින්වහන්සේ සමඟ විසීමට වඩාත් කැමති වග ය.</verse>
				<verse number="9">එබැවින් අපි ශාරීරික නිවසේ සිටියත්, පිටත සිටියත් ස්වාමින්වහන්සේ සතුටු කිරීම අපගේ අරමුණ කර ගන්නෙමු.</verse>
				<verse number="10">මන්ද ශරීරයේ සිටියදී හොඳ හෝ නරක හෝ වේවා, එකිනෙකා කළ කළ දේ අනුව පල විපාක ලබන පිණිස, අප සියල්ලන්ම ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්චය ආසනය ඉදිරියේ පෙනී සිටිය යුතුම ය.</verse>
				<verse number="11">එනිසා ස්වාමින්වහන්සේට භයවීම කුමක්දැයි දන්නා අපි, මිනිසුන්ට ඒත්තු ගැන්වීමට වැර දරන්නෙමු. අප කවුරුන්දැයි දෙවියන්වහන්සේ දන්නා සේක. අප කවුරුන්දැයි ඔබේ හෘදය සාක්ෂියත් එලෙසම දන්නේය යනු මගේ බලාපොරොත්තුවයි.</verse>
				<verse number="12">අප නැවතත් අප ගැනම ඔබට රෙකමදාරු කරගන්නවා නො වේ. හදවතේ ඇති දෑට වඩා පිටස්තර දෑ ගැන උදම් වන්නන්ට පිළිතුරු දිය හැකි වන සේ, අප ගැන උදම් වීමට ඔබට ඉඩ සලසා දෙනවා පමණි.</verse>
				<verse number="13">අපගේ සිහි විකල් වෙලා නම්, ඒ දෙවියන්වහන්සේ උදෙසා ය. අප හොඳ සිහි කල්පනාවෙන් නම්, ඒ ඔබ උදෙසා ය.</verse>
				<verse number="14">අප මෙසේ නිගමන කර ඇති බැවින්, ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය අප පාලනය කරයි. එනම්, සියල්ලන් වෙනුවෙන් එක් කෙනෙක් මැරුණේ යයි ද එබැවින් සියල්ලෝම මැරුණෝ යයි ද</verse>
				<verse number="15">සියල්ලන් වෙනුවෙන් උන්වහන්සේ මැරුණේ, ජීවත්ව සිටින්නන් තවදුරටත් තමන්ම උදෙසා ජීවත් නො වී, ඔවුන් උදෙසා මැරී, නැගිටුවනු ලැබූ තැනැන්වහන්සේ උදෙසා ජීවත් වන පිණිස ය.</verse>
				<verse number="16">එබැවින් මෙතැන් පටන් අප, මාංසයට අනුව කිසිවකු සලකන්නේ නැත. වරක් අප ක්‍රිස්තුස්වහන්සේ මාංසයට අනුව සැලකූ නමුදු, තවදුරටත් උන්වහන්සේ ගැන එසේ සලකන්නේ නැත.</verse>
				<verse number="17">එබැවින්, යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ වේ නම්, ඔහු නව මැවිල්ලකි. පැරැන්න පහව ගොස් ඇත, මෙන්න! අලුත් භාවය පැමිණ ඇත.</verse>
				<verse number="18">මේ සියල්ල ක්‍රිස්තුස්වහන්සේ තුළින් තමන්වහන්සේට අප සමඟි කර ගත්තාවූ ද සමඟි කිරීමේ මෙහෙයය අපට බාර දුන්නා වූ ද දෙවියන්වහන්සේගෙනි.</verse>
				<verse number="19">එනම්, දෙවියන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ තුළ ලෝකයා තමන්වහන්සේට සමඟි කර ගනිමින්, ඔවුන්ගේ පාප ඔවුන්ට එරෙහිව ගණන් නො ගෙන, එසේ සමඟි කිරීමේ පණිවුඩය අපට පවරා දී ඇති බව ය.</verse>
				<verse number="20">එබැවින් අප, ක්‍රිස්තුස්වහන්සේ උදෙසා තානාපතීන් ය; දෙවියන්වහන්සේ, අප මඟින් තම ආයාචනා ඉදිරිපත් කරන සේක. දෙවියන්වහන්සේ හා සමඟි වන ලෙස ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් අපි ඔබගෙන් අයදින්නෙමු.</verse>
				<verse number="21">පාපය නො දත් තැනැන්වහන්සේ අප උදෙසා පාපය වීමට දෙවියන්වහන්සේ සැලසූ සේක. එසේ කළේ, උන්වහන්සේ තුළ අප, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස ය.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">එබැවින් උන්වහන්සේ සමඟ හවුල් වැඩකරුවන් වශයෙන් අප ඔබෙන් අයැද සිටින්නේ, දෙවියන්වහන්සේගේ අනුග්‍රහය නිකරුණේ නො පිළිගන්නා ලෙසයි.</verse>
				<verse number="2">මන්ද උන්වහන්සේ පවසන්නේ, “පිළිගත හැකි කාලයකදී මම ඔබට සවන් දුනිමි. ගැලවීමේ දවසේදී මම ඔබට උදවු කළෙමි” කියා ය. මෙන්න! පිළිගත හැකි කාලය දැනුයි; මෙන්න! ගැලවීමේ දවස අදයි.</verse>
				<verse number="3">සේවය කිසි දෝෂ දර්ශනයකට ලක් නො වන පිණිස, කිසි අයුරකින් කිසිවකුට අප බාධා පමුණුවන්නේ නැත.</verse>
				<verse number="4">අනික් අතට, අප දෙවියන්වහන්සේගේ සේවකයින් වග හැම අතින්ම පෙන්නුම් කරන්නේ: මහත් සේ විඳ දරා ගනිමිනි; පීඩා, අපහසුතා හා විපත්ති විඳීමෙනි:</verse>
				<verse number="5">පහර කනු ලැබීමෙනි; සිරගතවීම්වලිනි; කෝලාහලවලිනි; වෙහෙසීමෙනි; නිදි නැති රෑවලිනි; කුස ගින්නෙනි;</verse>
				<verse number="6">පවිත්‍රතාවෙනි; අවබෝධයෙනි; ඉවසීමෙනි; කාරුණික වීමෙනි; ශුද්ධාත්මයාණන්ගෙනි; අව්‍යාජ ප්‍රේමයෙනි;</verse>
				<verse number="7">සත්‍යවාදී කතාවෙන් හා දෙවියන්වහන්සේගේ බලයෙනි; සුරතින් හා වමතින් ගත් ධර්මිෂ්ඨකමේ අවිවලිනි.</verse>
				<verse number="8">ගෞරවය මැද්දේ හා අගෞරවය මැද්දේ ය; අපහාස හා පැසසුම් මැද්දේ ය; සත්‍යවාදී වුවත්, වංචනිකයින් සේ සලකනු ලැබීමෙනි;</verse>
				<verse number="9">හොඳින් හඳුනන නමුත්, නො හඳුනන්නන් ලෙසිනි; මරණයට පත්වෙන්නන් ලෙස ගණන් ගැනුණත්, මෙන්න! අපි ජීවත් වන්නෙමු. දඬුවම් ලද ලෙසිනි, එහෙත් මරා දමනු ලැබ නැත;</verse>
				<verse number="10">ශෝක වන්නන් ලෙස නමුදු, අප නිතරම ප්‍රීතියෙනි; දුප්පතුන් ලෙස නමුදු, බොහෝ දෙනකු ධනවත් කරමිනි; කිසිවක් නැතියවුන් ලෙස නමුදු, හැම දෙයක්ම හිමි ලෙසිනි.</verse>
				<verse number="11">අප ඔබට කතා කළේ නිදහස්ව ය, කොරින්තිවරුනි. අපේ හදවත් සපුරාම විවෘත ය.</verse>
				<verse number="12">අප විසින් ඔබ කෙරේ සීමා පනවා නැත. ඔබේ හිතේසි බවෙහි සීමා පනවාගෙන ඇත්තේ ඔබම ය.</verse>
				<verse number="13">ඒ වෙනුවට දරුවනට මෙන් මා කියන්නේ, ඔබත් ඔබේ හදවත් පුළුල්ව විවර කරන්න කියායි.</verse>
				<verse number="14">නො ඇදහිලිවතුන් සමඟ නො පෑහෙන සේ එකට නො ඈඳෙන්න. මන්ද නොපනත්කම සමඟ ධර්මිෂ්ඨකමට ඇති පංගුකාරකම කුමක් ද? නැතහොත් අන්ධකාරය සමඟ ආලෝකයට ඇති සහභාගිත්වය කුමක් ද?</verse>
				<verse number="15">යක්ෂාධිපතියා සමඟ ක්‍රිස්තුස්වහන්සේට ඇති ගැලපීම කුමක් ද? නැතහොත් නො ඇදහිලිවතකු සමඟ ඇදහිලිවතකු බෙදා ගන්නා කොටස කුමක් ද?</verse>
				<verse number="16">පිළිම රූප සමඟ දෙවියන්වහන්සේගේ මාලිගාවට ඇති එකඟතාව කුමක් ද? මන්ද ජීවමාන දෙවියන්වහන්සේගේ මාලිගාව අප ය. දෙවියන්වහන්සේ පවසන පරිදි: “මම ඔවුන් මධ්‍යයේ මාගේ නිවස්නය තනා, ඔවුන් අතර ගැවසෙන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි; ඔවුහු මාගේ ජනයා වන්නෝ ය.”</verse>
				<verse number="17">එබැවින්, “ඔවුන් අතරින් පිටතට ඇවිත්, ඔවුන් වෙතින් වෙන්ව සිටින්නැ” යි, ස්වාමින්වහන්සේ කියන සේක. “කිසි අපවිත්‍ර දෙයකට අත නො ගසන්න, එවිට මම ඔබ පිළිගන්නෙමි.”</verse>
				<verse number="18">තවද, “මම ඔබට පියෙක් වන්නෙමි, ඔබ මාගේ පුතුන් හා දූවරුන් වනු ඇතැ” යි, සියලු බලැති ස්වාමින්වහන්සේ පවසන සේක.</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">ප්‍රේමණීයයනි, අපට මේ පොරොන්දු තියෙන බැවින්, දෙවියන්වහන්සේට බය පක්ෂපාතීත්වයෙන් ශුද්ධකම සම්පූර්ණ කර ගැනීමට, අපගේ ශරීරය හා ආත්මය හැම දූෂ්‍යතාවකින්ම පවිත්‍ර කර ගනිමු.</verse>
				<verse number="2">ඔබ හදවත්හි අපට ඉඩ සලසා දෙන්න. කිසිවකුටත් අප වරදක් කර නැත; කිසිවකුත් දූෂ්‍ය කර නැත; කිසිවකුගෙන් වාසි සලසා ගෙන නැත.</verse>
				<verse number="3">ඔබට වරද පවරන පිණිස මා මෙසේ කියනවා නො වේ. කලින් මා ඔබට කියා ඇති පරිදි එකට මැරෙන්නටත්, එකට ජීවත් වන්නටත් අප හදවත් තුළ ඔබ සිටී.</verse>
				<verse number="4">ඔබ ගැන බලවත් විශ්වාසයක් මට තිබේ. ඔබ ගැන මහත් ආඩම්බරයක් මට තිබේ. මා සිටින්නේ සැනසිල්ලෙන් පිරිලා ය. අපගේ සියලු පීඩාවලදීත්, මම උතුරා යන ප්‍රීතියෙන් යුක්තව සිටිමි.</verse>
				<verse number="5">අප මකිදෝනිය වෙත පැමිණි විට පවා අප ශරීරයට කිසි විවේකයක් නො විණි. එසේ වුව ද, පිටතින් වූ ගැටුම් ද ඇතුළතින් වූ බිය ද නිසා හැම පැත්තෙන්ම අප පීඩා කරනු ලැබිණ.</verse>
				<verse number="6">එහෙත් පසුබටවූවන් සනසවන දෙවියන්වහන්සේ, අප සැනසුවේ තීතස්ගේ පැමිණීමෙනි.</verse>
				<verse number="7">ඔහුගේ පැමිණීම පමණකින් නො වේ; ඔබ විසින් ඔහු සනසවන ලද සැනසිල්ල ද ඔබගේ ආශාවත්, ඔබගේ ශෝකයත්, මා වෙත ඇති ඔබගේ උද්යෝගයත් ගැන ඔහු පැවසීමෙන්, මාගේ ප්‍රීතිය වඩාත් අධික විය.</verse>
				<verse number="8">මගේ ලිපියෙන් මා ඔබ ශෝකයට පත් කළ නමුදු, ඒ ගැන කණගාටු නො වෙමි. මා කණගාටු වුවත්, මගේ ලිපියෙන් ඔබ ශෝක වුවත්, ඒ මද වෙලාවකට පමණක් වග මට පෙනේ.</verse>
				<verse number="9">එහෙත් දැන්, මා ඒ ගැන ප්‍රීති වන්නේ ඔබ ශෝකයට පත් වූ නිසා නො ව, ඒ ශෝකය ඔබට පසුතැවිල්ලට මං සැලසූ නිසා ය. මන්ද අපෙන් ඔබට කිසිදු හානියක් සිදු නො වන පිණිස, ඔබ දේව කැමැත්තට අනුකූල වූ ශෝකයක් දැරූ නිසා ය.</verse>
				<verse number="10">මන්ද දේව කැමැත්තට අනුකූල වූ ශෝකය, කණගාටුවට හේතුවක් නො වන්නා වූ ගැලවීමට මං සලසන පසුතැවිල්ල උපදවයි. එහෙත්, ලෞකික ශෝකය මරණය උපදවයි.</verse>
				<verse number="11">මෙම දේව කැමැත්තට අනුකූල වූ ශෝකය ඔබ තුළ කෙතරම් උනන්දුවක් උපදවා ඇත්දැයි බලන්න. ඔබ නිදොස් කර ගැනීමේ කෙතරම් උනන්දුවක්, කෙතරම් හෙළා දැකීමක්, කෙතරම් බයක්, කෙතරම් දැඩි ආශාවක්, කෙතරම් උද්යෝගයක් හට ගැනුනා ද? කවර නම් දඬුවම් දීමක් ද! මේ කාරණයේදී හැම අංශයකින්ම ඔබේ නිදොස් වග ඔබම ඔප්පු කර තිබේ.</verse>
				<verse number="12">මා ඔබට ලියූ නමුදු, එසේ කළේ වරද කළ තැනැත්තා උදෙසා නො වේ; වරද විඳි තැනැත්තා උදෙසා ද නො වේ. දෙවියන්වහන්සේ හමුවේ අප කෙරේ ඇති ඔබගේ උනන්දුව ඔබටම එළිදරවු වීම සඳහා ය.</verse>
				<verse number="13">එබැවින් අපි සැනසිල්ල ලැබීමු. අපගේම සැනසීමට අමතරව, ඔබ හැම තීතස්ගේ ආත්මය නව පණ ගන්වා තිබූ බැවින් වූ ඔහුගේ ප්‍රීතිය නිසා අප වඩාත් ප්‍රීති වන්නෙමු.</verse>
				<verse number="14">ඔබ ගැන මා ඔහුට කර තිබූ පාරට්ටුව මා ලජ්ජාවට පත් කොට නැත. තවද අප ඔබට කී ලෙස සියල්ල සැබෑ වී, තීතස් ඉදිරියේ අප කළ පාරට්ටුව ද සත්‍යය වග ඔප්පු වී ඇත.</verse>
				<verse number="15">ඔබ හැමගේ අවනත භාවයත්, ඔබ ඔහු පිළිගත් බය හා වෙවුලුමත් සිහි කරද්දී, ඔබ වෙත ඇති ඔහුගේ ලැදියාව බෙහෙවින් අධික ය.</verse>
				<verse number="16">ඔබ තුළ මට සම්පූර්ණ විශ්වාසය තැබිය හැකි බැවින් මම ප්‍රීති වෙමි.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">සහෝදරයිනි, මකිදෝනියෙහි සභාවනට දෙවියන්වහන්සේ දී ඇති අනුග්‍රහය ගැන ඔබ දැනගැනීම අපගේ කැමැත්තයි.</verse>
				<verse number="2">මන්ද පීඩාවේ උග්‍ර පරීක්ෂා මැද ඔවුන්ගේ අධික ප්‍රීතියත්, ඔවුන්ගේ අන්ත දුගීභාවය මැද උතුරා යන ත්‍යාගශීලිත්වයේ ධනවත්කමත් ඔවුන්ට ඇත.</verse>
				<verse number="3">මන්ද ඔවුන් තමන්ට දීමට හැකි පමණින් හා දීමට හැකි පමණටත් වඩා වැඩියෙන් දුන් බවට සාක්ෂි දරන්නට මට පුළුවන. ඔවුහු ස්ව කැමැත්තෙන්ම</verse>
				<verse number="4">අපට ආයාචනා කරමින්, ශුද්ධවතුනට දෙන සහනාධාරයට පංගුකාර වීමට උදක්ම ඉල්ලූහ.</verse>
				<verse number="5">ඒ අප අපේක්ෂා කළ පරිදි නො වේ; ඔවුන් පළමු කොට ස්වාමින්වහන්සේටත්, ඉන් අනතුරුව දෙවියන්වහන්සේගේ කැමැත්තට එකඟව අපටත් තුමූම භාර වූහ.</verse>
				<verse number="6">ඒ අනුව, තීතස් පටන් ගෙන තිබූ පරිදි, මෙම අනුග්‍රාහක සේවය ඔබ අතරේත් සම්පූර්ණ කරන ලෙස, අපි ඔහුගෙන් උදක්ම ඉල්ලීමු.</verse>
				<verse number="7">එහෙත් ඇදහිල්ලේ ද කතාවේ ද අවබෝධයේ ද පූර්ණ උද්යෝගයේ හා අප වෙත ඇති ඔබගේ ප්‍රේමයේ ද යන සියල්ලෙහි ඔබ විශිෂ්ටව සිටින සේ, අනුග්‍රහයයේ මෙම සේවයේ ද විශිෂ්ට වන්නට වගබලා ගන්න.</verse>
				<verse number="8">මා ඔබට අණ කරනවා නො වේ. අන් අයගේ දැඩි උනන්දුව සසඳමින්, ඔබේ ප්‍රේමයේ අව්‍යාජත්වය පරීක්ෂා කර බලනවා පමණි.</verse>
				<verse number="9">මන්ද යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබ දනිති. උන්වහන්සේ ධනවත් නමුදු ඔබ උදෙසා දිළිඳු බවට පැමිණියේ උන්වහන්සේගේ දිළිඳු බව තුළින්, ඔබ ධනවත් වන පිණිස ය.</verse>
				<verse number="10">මේ සම්බන්ධව මගේ නිගමනය මෙයයි; පසුගිය වසරේ මෙම වැඩය කිරීමට පමණක් නො ව, එය කිරීමේ ආශාව ද ඇතිව ඊට මුල පිරුවෝ ඔබම බැවින් මෙය ඔබට වැඩදායක ය.</verse>
				<verse number="11">එබැවින් එලෙසම ක්‍රියාවෙන් දැන් එය සම්පූර්ණ කරන්න. ඔබට ඇති දෙයින් එය සම්පූර්ණ කිරීමෙන්, ඔබ ආශාවෙන් ඊට දැක්වූ ඕනෑකමට ද එය ගැළපේ.</verse>
				<verse number="12">මන්ද ඕනෑකම ඇත්නම්, එය පිළිගැනෙන්නේ කෙනකුට ඇති දේට අනුකූලව ය; ඔහුට නැති දේට අනුකූලව නො වේ.</verse>
				<verse number="13">මා මෙයින් අදහස් කරන්නේ, අන්‍යයනට පහසුව සලසමින්, ඔබට බරක් දීම නො ව, සමබරතාවක් ඇති කිරීමයි.</verse>
				<verse number="14">ඔවුන්ගේ බහුලත්වයේදී ඔබගේ අවශ්‍යතා සපිරෙන පිණිස, වත්මනේදී ඔබගේ බහුලත්වයෙන් ඔවුන්ගේ අවශ්‍යතා සපිරීමෙන් සමබරතාවක් සැලසෙන වගයි.</verse>
				<verse number="15">ඒ මෙසේ ලියා ඇති පරිද්දෙනි: “බොහොමයක් එකතු කළ කෙනාට වැඩි වුණේ නැත; ස්වල්පයක් එකතු කළ කෙනාට අඩු වුණේ නැත.”</verse>
				<verse number="16">ඔබ කෙරේ එම දැඩි සැලකිල්ලම තීතස්ගේ හදෙහිත් තැබූ දෙවියන්වහන්සේට ස්තුති වේවා.</verse>
				<verse number="17">මන්ද ඔහු අපගේ ඉල්ලීම පිළිගත්තා පමණක් නො වේ; ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වී මහත් උද්යෝගයෙන් යුතුව ඔබ වෙත එයි.</verse>
				<verse number="18">ශුභාරංචිය ප්‍රකාශ කිරීම ගැන සියලු සභා අතර ජනප්‍රිය සහෝදරයා ද අපි ඔහු සමඟ එවන්නෙමු.</verse>
				<verse number="19">එපමණක් නො වේ, ස්වාමින්වහන්සේගේ ගෞරවය උදෙසාත්, අපගේ උනන්දුව පෙන්නුම් කිරීමටත් අප විසින් මෙහෙය වන මෙම අනුග්‍රහයේ සහනාධාරය රැගෙන අප හා යෑමට සභා විසින් මොහු පත් කරනු ලැබ ඇත.</verse>
				<verse number="20">අප මේ පියවර ගත්තේ අප විසින් මෙහෙය වන මෙම නො මසුරු තිළිණය ගැන කිසිවකුගේවත් දොස් දැක්මක් සිදු නො වන පිණිස ය.</verse>
				<verse number="21">මන්ද අප අරමුණු කරන්නේ ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ පමණක් නො ව, මිනිසුන්ගේ ඇස් හමුවේ ද ගරු කටයුතු ලෙස කිරීම ය.</verse>
				<verse number="22">ඔවුන් සමඟ තවත් අප සහෝදරයකු අපි ඔබ වෙත එවන්නෙමු. නොයෙක් විට බොහෝ කාරණාවලදී තම උද්යෝගී භාවය ඔප්පු කර පෙන්වූ ඔහු, ඔබ වෙත ඇති ඔහුගේ දැඩි විශ්වාසය නිසා දැන් ඒ කවදාටත් වඩා වැඩි උද්යෝගයකින් සිටියි.</verse>
				<verse number="23">තීතස් ගැන කියනවා නම්, ඔබ උදෙසා ඔහු මගේ සහායකයා හා හවුල් වැඩකරුවා ය. අපගේ මේ සහෝදරයින් සභා නියෝජිතයින් ය; ක්‍රිස්තුස්වහන්සේගේ තේජස ය.</verse>
				<verse number="24">එබැවින් ඔබගේ ප්‍රේමයේ සාක්ෂියත්, ඔබ ගැන අපගේ පාරට්ටුවත් සභා ඉදිරියේ මේ මිනිසුන්ට ඔප්පු කර පෙන්වන්න.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">ශුද්ධවතුනට සේවය කිරීම ගැන මා ඔබට ලිවීම අවශ්‍ය නැත.</verse>
				<verse number="2">මන්ද අකාය වාසීන් පසුගිය වසරේ සිටම සූදානමින් සිටින බැව් පවසමින්, මකිදෝනියෙහි ජනයාට ඔබ ගැන මා කළ පාරට්ටුව ලෙස, ඔබගේ ලැදි සූදානම ගැන මම දනිමි. ඔවුන් වැඩි දෙනකු පොලඹවනු ලැබුවේ ඔබගේ එම උද්යෝගයයි.</verse>
				<verse number="3">මේ ගැන සූදානමින් සිටින්නේ යයි මා පැවසූ ලෙස ඔබ සූදානමින් සිටින පිණිස, මා මේ සහෝදරයින් එවන්නේ, මේ සම්බන්ධව ඔබ ගැන වූ අපගේ පාරට්ටුව හිස් නො වන පිණිස ය.</verse>
				<verse number="4">අනෙක් අතට, මකිදෝනිවරුන් ඇතැම් දෙනකු මා සමඟ අවුත්, ඔබ කිසි සූදානමක් නැතිව සිටිනු දුටුවහොත්, ඔබට කෙසේ වෙතත්, ඔබ ගැන මෙතරම් විශ්වාසයක් තැබූ අප ලජ්ජාවට පත් වනු ඇත.</verse>
				<verse number="5">එනිසා කලින් ඔබ වෙත අවුත්, ඔබ පොරොන්දු වූ දීමනාව කල් ඇතිව පිළියෙල කරන ලෙස මේ සහෝදරයින් පෙලඹවීම යෝග්‍යයයි මා සිතුවේ, එය බලෙන් ලබා ගත්තක් නො ව, කැමැත්තෙන් දෙන දීමනාවක් සේ පිළියෙල වන පිණිස ය.</verse>
				<verse number="6">මෙය සිහි තබාගන්න: අඩුවෙන් වපුරන්නා අඩුවෙන් කපා ගනී; වැඩියෙන් වපුරන්නා, වැඩියෙන් කපා ගනී.</verse>
				<verse number="7">එක් එක්කෙනා දිය යුත්තේ, තමාගේ සිතින් නියම කර ගත් ලෙස විනා, අකමැත්තෙන් හෝ බල කිරීම නිසා හෝ නො වේ. මන්ද සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේම කරන සේක.</verse>
				<verse number="8">සියලු කල්හි, සියලු දේහි, සියල්ලෙන් සපිරි, සියලු යහපත් වැඩෙහි ඔබ ඉසුරුමත් වන පිණිස, සියලු අනුග්‍රහය ඔබට බහුල කරන්නට දෙවියන්වහන්සේට පුළුවන.</verse>
				<verse number="9">ලියා ඇති පරිදි: “ඔහු නො මසුරුව බෙදා දුන්නේ ය, ඔහු දිළිඳුන්ට දුන්නේ ය. ඔහුගේ ධර්මිෂ්ඨකම සදහට පවත්නේ ය.”</verse>
				<verse number="10">වපුරන්නාට බීජ ද කෑමට ආහාර ද සපයන තැනැන්වහන්සේ ඔබට වපුරන්නට බීජ බහුල කරන සේක්, ඔබේ ධර්මිෂ්ඨකමේ අස්වැන්න සරු සාර කරන සේක.</verse>
				<verse number="11">ඔබගේ මුළු ත්‍යාගවන්ත භාවයට, හැම අතින්ම ඔබ පොහොසත් කරනු ලබනු ඇත. එමඟින් අප තුළින් දෙවියන්වහන්සේට ස්තුති දීම් උපද්දවනු ඇත.</verse>
				<verse number="12">මන්ද මෙම සේවයේදී ඔබ කරන මෙහෙයෙන්, ශුද්ධවතුන්ගේ අවශ්‍යතා සපිරෙනවා පමණක් නො වේ. එයින් දෙවියන්වහන්සේට බොහෝ ස්තුති දීම් ද පිටාර ගලයි.</verse>
				<verse number="13">ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ප්‍රායෝගිකව පිළිගැනීම සමඟ ආ ඔබගේ අවනත භාවය හා ඔවුන්ටත්, අන් සියල්ලන්ටත් ඔබ පිරිනැමූ දීමනාවේ ත්‍යාගවත් භාවය නිසා, මෙම සේවයෙන් ඔප්පු කර පෙන්වූ දෙයින්, ඔවුන් දෙවියන්වහන්සේට මහිමය දෙනු ඇත.</verse>
				<verse number="14">එසේ වන්නේ, ඔබ පිට ඇති දෙවියන්වහන්සේගේ අනුපමේය අනුග්‍රහය නිසා, ඔවුන් ඔබට ඇති ලැදියාව හා ඔබ උදෙසා ඔවුන් යාච්ඤා කරන අතරදී ය.</verse>
				<verse number="15">වචනයෙන් විස්තර කළ නො හැකි දෙවියන්වහන්සේගේ දීමනාව ගැන උන්වහන්සේට ස්තුති වේවා!</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">ඔබ හා මුහුණට මුහුණ හමු වූ කල යටහත් වූ, එහෙත් ඈත්ව සිටියදී ඔබ කෙරේ එඩිතර මම, පාවුල්, ක්‍රිස්තුස්වහන්සේගේ මෘදු ගුණයෙන් හා විනීතභාවයෙන් යුතුව ඔබගෙන් අයැදීමක් කරමි.</verse>
				<verse number="2">අප මාංසික ලෙස හැසිරෙතැයි අප ගැන සිතන ඇතමුන්ට එරෙහිව මා ආ කල්හි, සහතික වශයෙන් මා අපේක්ෂා කරන පරිදි එඩිතරකම් පෑමට නො සලස්වන මෙන් ඔබගෙන් ඉල්ලමි.</verse>
				<verse number="3">මන්ද අප මාංසයෙහි ජීවත් වුව ද, අප මාංසයට අනුව යුද්ධ කරන්නේ නැත.</verse>
				<verse number="4">මන්ද අපගේ යුද්ධයේ ආයුධ මාංසික ඒවා නො වේ. එහෙත් බළකොටු බිඳ හෙළීමේ දිව්‍යම බලය ඒවායේ ඇත.</verse>
				<verse number="5">දෙවියන්වහන්සේ පිළිබඳ අවබෝධයට එරෙහිව නැගෙන තර්ක හා අහංකාර මත හැමකක් එමඟින් බිඳ හෙළා, හැම සිතිවිල්ලක්ම ක්‍රිස්තුස්වහන්සේට කීකරු කරවන පිණිස, අප ඒවා වහල් කොට ගන්නේ,</verse>
				<verse number="6">ඔබගේ කීකරුකම සම්පූර්ණ වූ කල, හැම අකීකරුකමකටම දඬුවම් දීමට සූදානමිනි.</verse>
				<verse number="7">ඔබ බලන්නේ, ඔබගේ ඇසට පෙනෙන ලෙස ය. තමා ක්‍රිස්තුස්වහන්සේට අයත් යයි යමකුට සහතික නම්, ඔහු ක්‍රිස්තුස්වහන්සේට අයිතිවා සේ, අපත් අයිති බැව් කල්පනාවට ගනීවා.</verse>
				<verse number="8">මන්ද ඔබ බිඳහෙළීමට නො ව, ගොඩ නැගීමට ස්වාමින්වහන්සේ අපට දුන් ආධිපත්‍යය ගැන මා මදක් වැඩියෙන් පාරට්ටු කරගන්නා නමුදු, ඒ ගැන මා ලජ්ජා වන්නේ නැත.</verse>
				<verse number="9">මගේ ලිපිවලින් මා ඔබ බිය ගන්වතැයි පෙන්වීමට මට වුවමනා නැත.</verse>
				<verse number="10">මන්ද ඔවුන් මා ගැන කියන්නේ, “ඔහුගේ ලිපි නම් හරබර ය; බලවත් ය; එහෙත් ඔහුගේ ශාරීරික පෙනුම දුර්වල ය; කතාවට ද ඔහු අදක්ෂ ය” කියා ය.</verse>
				<verse number="11">අප නො පැමිණ අපගේ ලිපිවලින් යම් සේ වී ද, අප පැමිණි කලත් එලෙසම බැව් ඒ අය තේරුම් ගනිත්වා.</verse>
				<verse number="12">තමන්ම තමන් වර්ණනා කරගන්නවුන්ගේ වර්ගයට ගැණෙන්නට හෝ ඔවුන් සමඟ සසඳා ගැන්මට අප නිර්භීත නැත. එහෙත් ඔවුන් තමන්ගේම මිම්මෙන් තමන්ම මැන ගන්නා කල, තමන්ම, තමන් හා සසඳා ගන්නා කල, ඔවුන් සිටින්නේ තේරුම් නැතිව ය.</verse>
				<verse number="13">එහෙත් අප සීමාව ඉක්මවා පාරට්ටු කරගන්නේ නැත. එහෙත් ඔබ දක්වාම විහිද ඇති, දෙවියන්වහන්සේ අපට පැවරූ බල ප්‍රදේශයේ සීමාව දක්වා අපි පාරට්ටු කරන්නෙමු.</verse>
				<verse number="14">ඔබ වෙත අප ළඟා වී නැතිවා වැනිව, අපගේ දුර සීමාව ඉක්මවා යනවා නො වේ. මන්ද ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය රැගෙන, ඒ මුළු දුර ගෙවාගෙන, මුලින්ම ඔබ වෙත ආවේ අප ය.</verse>
				<verse number="15">අන් අය කර ඇති වැඩ ගැන අප අපගේ සීමා ඉක්මවා පාරට්ටු කරගන්නේ නැත. එහෙත් අපගේ බලාපොරොත්තුව, ඔබගේ ඇදහිල්ල වැඩි වන කල, ඔබ අතරේ අපේ බල පෙදෙස අතිශයින් පුළුල් වන බවයි.</verse>
				<verse number="16">එවිට වෙනත් කෙනකුගේ බල පෙදෙසක දැනටමත් කර ඇති වැඩ ගැන පාරට්ටු කර නො ගෙන, ඔබෙන් එපිට පළාත්වල ශුභාරංචිය දේශනා කිරීමට අපට හැකි වෙයි.</verse>
				<verse number="17">එහෙත්, “පුරසාරම් කියන්නා, ස්වාමින්වහන්සේ තුළම පුරසාරම් කියා ගනීවා.”</verse>
				<verse number="18">සැබවින් ම පිළිගනු ලබන්නේ තමන්ගේම වර්ණනාව කියා ගන්නා නො ව, දෙවියන්වහන්සේගෙන් වර්ණනාව ලබන්නා ය.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">මගේ සුළු අනුවණකමක් ඔබ ඉවසනවාට කැමැත්තෙමි. මා ගැන ඉවසා සිටින්න;</verse>
				<verse number="2">නො ඉඳුල් කන්‍යාවියක සේ ඔබ එකම පුරුෂයකුට එනම් ක්‍රිස්තුස්වහන්සේට විවාහ කර දීමට මා ගිවිස ඇති බැවින්, ඔබ ගැන දිව්‍යමය ඊර්ෂ්‍යාවකින් මම පෙළෙමි.</verse>
				<verse number="3">එහෙත් සර්පයා තම කපටිකමින් ඒව රැවටූ සේ, ක්‍රිස්තුස්වහන්සේ කෙරේ ඇති ඔබේ අවංක, පිරිසිදු කැපවීම වෙතින් ඔබේ සිත් මුළා කරනු ලැබේදෝයි බය වෙමි.</verse>
				<verse number="4">මන්ද යමකු ඔබ වෙත අවුත්, අප ප්‍රකාශ කළ තැනැත්තාණන් හැර, වෙනත් යේසුස් කෙනකු ප්‍රකාශ කළහොත් හෝ ඔබ ලැබූ ආත්මයාණන්ට වෙනස් වූ ආත්මයක් ලැබුවහොත් හෝ ඔබ පිළිගත් ශුභාරංචියට වෙනස් එකක් පිළිගතහොත් හෝ ඔබ කැමැත්තෙන් එය ඉවසීම හොඳ ය!</verse>
				<verse number="5">එහෙත් ඔය සුපිරි අපෝස්තුලුවරුනට වඩා මා කොහෙත්ම අඩු කෙනෙකැයි මම නො සිතමි.</verse>
				<verse number="6">මා කතාවට අදක්ෂ නමුත්, දැනගැන්මෙන් එසේ නැත. සැබවින් ම, හැම දේකදී ඒ වග ඔබට පැහැදිලි වන අයුරින් අප කටයුතු කර ඇත.</verse>
				<verse number="7">දෙවියන්වහන්සේගේ ශුභාරංචිය නොමිලේම ඔබට දේශනා කළ නිසා, ඔබ උසස් වන පිණිස, මා යටහත් වීමෙන් පවක් කළෙම් ද?</verse>
				<verse number="8">ඔබට සේවය කරන පිණිස, අනෙක් සභාවලින් ආධාර ලබාගැනීමෙන්, මම ඔවුන්ගෙන් කොල්ල කෑවෙමි.</verse>
				<verse number="9">මා ඔබ සමඟ සිටියදී මට හිඟකම් ඇති වූ කල, ඔබ කිසිවකුට මා බරක් වූයේ නැත. මන්ද මකිදෝනියෙන් පැමිණි සහෝදරයෝ මගේ අවැසිතා සපිරූහ. මෙසේ මා ඔබට බරක් නො වූවාත් හැර, කිසි ලෙසකින් මා ඔබට බරක් වීමෙන් මතුත් වළකින්නෙමි.</verse>
				<verse number="10">ක්‍රිස්තුස්වහන්සේගේ සත්‍යය මා තුළ ඇති බැවින්, මගේ මෙම පාරට්ටුව මුළු අකාය පළාත්හිදී නිහඬ කෙරෙනු නැත.</verse>
				<verse number="11">ඒ ඇයි? මා ඔබට ප්‍රේම නො කරන නිසා ද? මා ප්‍රේම කරන වග දෙවියන්වහන්සේ දන්නා සේක.</verse>
				<verse number="12">අප කරන දෑ හා සම තත්වයක ගැණෙන පිණිස තමන් කරන දේ ගැන පාරට්ටු කර ගැනීමට කැමතිවූවන්ගේ බල බිඳින පිණිස, කරන දේ මම ඉදිරියටත් කරගෙන යන්නෙමි.</verse>
				<verse number="13">මන්ද ක්‍රිස්තුස්වහන්සේගේ අපෝස්තුලුවරුන් ලෙස වෙස්වලා ගත් එබඳු මිනිසුන් බොරු අපෝස්තුලුවරු ය; වංචනික වැඩකරුවෝ ය.</verse>
				<verse number="14">එය පුදුමයක් නො වේ. මන්ද සාතන් පවා තමාම ආලෝකයේ දූතයකුගේ වෙස් පලඳනා බැවිනි.</verse>
				<verse number="15">එබැවින් ඔහුගේ සේවකයින් ද ධර්මිෂ්ඨකමේ සේවකයන්ගේ වෙස් ගැනීම අරුමයක් නො වේ. ඔවුන්ගේ අවසානය ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුරූපී වනු ඇත.</verse>
				<verse number="16">මා නැවතත් කියන්නේ, කිසිවකු මා අඥානයකු යයි නො සිතන ලෙසයි. එහෙත් ඔබ එලෙස සිතන්නේ නම්, මා මදක් පාරට්ටු කරගන්නා පිණිස, මා අඥානයකු ලෙස පිළිගන්න.</verse>
				<verse number="17">පාරට්ටු කර ගැනීමේ ආත්ම විශ්වාසයෙන් යුතුව, මා මෙසේ කියන්නේ ස්වාමින්වහන්සේ පවසන ලෙස නො ව, අඥානයකු වශයෙනි.</verse>
				<verse number="18">බොහෝ දෙනෙක් මාංසයට අනුව පාරට්ටු කරගන්නා නිසා මමත් පාරට්ටු කර ගනිමි.</verse>
				<verse number="19">මන්ද අඥානයින් ගැන ඔබ ප්‍රීතියෙන් ඉවසන්නේ ඔබ ප්‍රඥාවත් නිසයි!</verse>
				<verse number="20">මන්ද යමකු ඔබ වහලකු කර ගත්තත්, යමකු ඔබ ගිල දැමුවත්, ඔබෙන් අයුතු ප්‍රයෝජන ගත්තත්, යමෙක් ඔබට අධිපතිකම් පෑවත්, ඔබට අතුල් පහර දුන්නත් ඔබ ඒ සියල්ලම දරා ගනිති.</verse>
				<verse number="21">මා මෙය කිය යුතු ය; එසේ කිරීමට අප හුඟක් දුර්වල වීම ගැන ලජ්ජා වෙමි. එහෙත් යම් කෙනකු යම් දෙයක් ගැන පාරට්ටු කර ගැනීමට එඩිතර වේ ද, ඒ ගැන මටත් පාරට්ටු කර ගැනීමට හැකි වග මා කියන්නේ අඥානයකු ලෙස ය.</verse>
				<verse number="22">ඔවුහු හෙබ්‍රෙව්වරු ද? මා ද එසේම ය; ඔවුහු ඉශ්‍රායෙල්වරු ද? මා ද එසේම ය; ඔවුහු ආබ්‍රහම්ගේ වංශය ද? මා ද එසේම ය.</verse>
				<verse number="23">ඔවුහු ක්‍රිස්තුස්වහන්සේගේ සේවකයෝ ද? ඊට වැඩියෙන් මා එබන්දෙකැයි උමතු වූවකු සේ කියමි. ඒ වඩාත් වෙහෙසී වැඩ කිරීමෙනි; වඩ වඩා සිරගත කරනු ලැබීමෙනි; ගණන් නැතිව පහර කෑම් ලැබීමෙනි; බොහෝ වර මරු කටට ළං වීමෙනි.</verse>
				<verse number="24">පස් වතාවක් යුදෙව්වන් අතින් තිස්නව කස පහර ලදිමි.</verse>
				<verse number="25">තුන් වතාවක් කෝටු මස් කරනු ලදිමි. වතාවක් ගල් ගසනු ලැබීමි. තුන් වතාවක් නැව් මුහුදුබත් වීම්වලට ගොදුරුව, දහවලක් හා රැයක් මුහුදේ පාවෙවී සිටියෙමි.</verse>
				<verse number="26">නිතර ගමනේ යෙදීමේදී ගංගා අනතුරු, මංකොල්ල අනතුරු, මගේම රට වැසියන්ගෙන් වූ අනතුරු හා අන් ජාතීන්ගෙන් වූ අනතුරු, නගරයේ අනතුරු, පාළුකරයේ අනතුරු, මුහුදු අනතුරු හා බොරු සහෝදරයින්ගෙන් වූ අනතුරුවලට මුහුණ පෑවෙමි.</verse>
				<verse number="27">වෙහෙසීම් හා අපහසුතා ද අනේක රෑ නිදිවැරීම් ද සා ගින්නෙන් හා පිපාසයෙන් ද බොහෝ විට ආහාර නො මැතිව ද ශීතලෙන් හා ඇඳුම් නො මැතිව ද සිට ඇත්තෙමි.</verse>
				<verse number="28">මේ දෑ හැර, හැම සභාවක් කෙරේ වූ මගේ කනස්සල්ලේ පීඩනය ද දිනපතා මා සමඟ විය.</verse>
				<verse number="29">යමෙක් දුර්වල නම්, ඒ දුර්වලකම මට නො දැනේ ද? යමෙක් වැටී ගියේ නම්, මම සංවේගී නො වෙම් ද?</verse>
				<verse number="30">මා පාරට්ටු කර ගත යුතු නම්, මාගේ දුර්වලකම් පෙනෙන දෑ ගැන පාරට්ටු කර ගනිමි.</verse>
				<verse number="31">මා බොරු නො කියන බැව් යේසුස් අප ස්වාමින්වහන්සේගේ පියාණන්වහන්සේ හා දෙවියන්වහන්සේත් වන සදහට ම ප්‍රශංසනීය තැනැන්වහන්සේ දන්නා සේක.</verse>
				<verse number="32">දමස්කයේදී අරෙතස් රජු යටතේ වූ ආණ්ඩුකාරයා මා සිරබාරයට ගන්නා පිණිස පුරවරය පුරා මුර යොදා තිබිණ.</verse>
				<verse number="33">එහෙත් පුර පවුරේ කපොල්ලක් තුළින් කූඩයක බැස පහතට බානු ලැබ, ඔහු අතින් ගැලවී ගියෙමි.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">පාරට්ටුවෙන් ඇති ප්‍රයෝජනයක් නැතත්, තවදුරටත් පාරට්ටු කර ගැනීමට යුතුව ඇත. ස්වාමින්වහන්සේගේ දර්ශන හා එළිදරවු වීම් ගැන මම පවසන්නෙමි.</verse>
				<verse number="2">වසර දාහතරකට උඩදී, තුන් වන ස්වර්ගයට ඔසවා ගනු ලැබූ, ක්‍රිස්තුස්වහන්සේ තුළ මනුෂ්‍යයකු ගැන මම දනිමි. එසේ වූයේ ශරීරයෙන් යුක්තව ද නැතහොත් ශරීරයෙන් වියුක්තවදැයි මා දන්නේ නැත; දෙවියන්වහන්සේ දන්නා සේක.</verse>
				<verse number="3">මෙම මිනිසා පාරාදීසයට ඔසවා ගනු ලැබූ බව දනිමි; එහෙත් ශරීරයෙන් යුක්තව ද ශරීරයෙන් වියුක්තවදැයි නො දනිමි; දෙවියන්වහන්සේ දන්නා සේක.</verse>
				<verse number="4">කියන්නට නො හැකි වූ මිනිස් බසින් නො පැවසිය යුතු වූ දෑ එහිදී ඔහු ඇසී ය.</verse>
				<verse number="5">මේ මිනිසා උදෙසා මම පාරට්ටු කර ගනිමි. එහෙත් මගේ දුබලතා ගැන මිස, මා උදෙසා මා පාරට්ටු කරගන්නේ නැත.</verse>
				<verse number="6">පාරට්ටු කර ගන්නට මා කැමති වෙතත් මා මෝඩයකු වන්නේ නැත. මන්ද මා පවසන්නේ සත්‍යය ය. කිසිවකු මා තුළ දකින, මගෙන් අසන දෑට වඩා වැඩියෙන් මා ගැන නො සිතන පිණිස පාරට්ටු කර ගැනීමෙන් මම වළකින්නෙමි.</verse>
				<verse number="7">එම අනුපමේය එළිදරවු වීම් හේතුවෙන් මා අහංකාර නො වන පිණිස, මට වධ දීමට මාගේ මාංසයට කටුවක් හෙවත් සාතන්ගේ දූතයකු දෙනු ලැබ සිටිමි. ඒ, පමණට වඩා මා අහංකාර නො වන පිණිස ය.</verse>
				<verse number="8">එය මගෙන් දුරු වන ලෙස ස්වාමින්වහන්සේට තුන් වරක්ම ආයාචනා කළෙමි.</verse>
				<verse number="9">එහෙත් උන්වහන්සේ, “මාගේ අනුග්‍රහය ඔබට සෑහේ; මන්ද මාගේ බලය සම්පූර්ණ වන්නේ දුබලතාවයේදී යැ” යි කී සේක. එබැවින්, ක්‍රිස්තුස්වහන්සේගේ බලය මා මත රඳා පවත්නා පිණිස, මගේ දුබලතා ගැන වඩ වඩා ප්‍රමෝදයෙන් පාරට්ටු කර ගනිමි.</verse>
				<verse number="10">ක්‍රිස්තුස්වහන්සේ උදෙසා දුබලතා, ගැරහුම්, අපහසුතා, හිංසා-පීඩා හා දුෂ්කරතා තුළ මා ප්‍රමෝද වන්නේ එබැවිනි. මන්ද මා දුබලව සිටින විට, මම ප්‍රබලව සිටිමි. මම ඔබට බරක් නො වෙමි.</verse>
				<verse number="11">මම අනුවණයකු වීමි. එහෙත් ඊට බල කළේ ඔබයි. මන්ද මා ගැන සාක්ෂි දිය යුතුව තිබුණේ ඔබ ය. මන්ද මා ගණන් ගතයුත්තකු නො වුවත්, ඒ සුපිරි අපෝස්තුලුවරුනට වඩා කෙලෙසකවත් මා අඩු නැත.</verse>
				<verse number="12">අධිකතර ඉවසීමෙන් යුතුව, ලකුණු හා පුදුම ද ප්‍රබල ක්‍රියා ද යන අපෝස්තුලුවරයකුගේ ලකුණු, ඔබ මධ්‍යයේ මා ඉටුකර ඇත.</verse>
				<verse number="13">මා ඔබට බරක් නො වූ කාරණයෙන් හැර, අන් කවර සභාවකට වඩා ඔබට සැලකුම් අඩු වී ද? බරක් නො වීමේ වරදට මට කමා වන්න!</verse>
				<verse number="14">දැන්, තුන් වන වරටත් ඔබ වෙත එන්නට මා සූදානම්ව සිටිතත්, මා ඔබට බරක් වන්නේ නැත. මට ඕනෑ ඔබ මිස, ඔබ සතු දෑ නො වේ. මන්ද ඉතිරි කළ යුතුව ඇත්තේ, දෙමාපියන් විසින් දරුවන් උදෙසා මිස, දරුවන් විසින් දෙමාපියන් උදෙසා නො වේ.</verse>
				<verse number="15">එබැවින් ඔබගේ ආත්ම උදෙසා දැඩි සොම්නසින් මම වැය වන්නෙමි; වැය කරනු ලබන්නෙමි. මා ඔබට වඩාත් ප්‍රේම කරන්නෙම් නම්, මා අඩුවෙන් ප්‍රේම කරනු ලබන්නෙම් ද?</verse>
				<verse number="16">එසේ වුණා වේ! මා ඔබට බරක් වූයේ නැත. එහෙත්, මා කපටියෙකැයි ද ප්‍රයෝගයෙන් ඔබ අල්ලා ගත්තේ යැයි ද ඔබ කියයි.</verse>
				<verse number="17">මා ඔබ වෙත එවූ අයගෙන් කවරකු ලවා මා ඔබෙන් වාසියක් ලබා ගත්තා ද?</verse>
				<verse number="18">ඔබ වෙත යන්නැයි තීතස්ගෙන් ඉල්ලූ මම, අපගේ සහෝදරයාත් ඔහු සමඟ එවීමි. තීතස්, ඔබෙන් වාසියක් ලබා ගත්තා ද? අපි එකම ආත්මයකින් යුතුව ක්‍රියා නො කළෙමු ද? එකම පියවර නො ගත්තෙමු ද?</verse>
				<verse number="19">අප ඔබට නිදහසට කරුණු කියනවායයි මේ මුළු කාලය තුළ ඔබ සිතන්නට ඇත. ක්‍රිස්තුස්වහන්සේ තුළ අප කතා කරමින් සිටියේ, දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ ය. ප්‍රේමණීයයනි, ඒ සියල්ල ඔබගේ අභිවෘද්ධිය උදෙසා ය.</verse>
				<verse number="20">මන්ද මා ඔබ වෙත ආ කල්හි, මා මනාප පරිද්දෙන් ඔබ නො සිටීදෝ, ඔබ මනාප පරිද්දෙන් මා නො සිටීදෝ යි බයක් ද ඇතැම් විට සණ්ඩු-දබර, ඊර්ෂ්‍යා හා කෝපය ද එදිරිවාදිකම්, අපවාද, ඕපාදූප, උඩඟුකම් හා අවුල් ද වේ දෝයි බයක් ද මට ඇත.</verse>
				<verse number="21">මා නැවත ආ කල, මගේ දෙවියන්වහන්සේ ඔබ ඉදිරියෙහි මා යටත් කරනු ඇත කියා ද ඉහතදී පවෙහි ගැලුණු බොහෝ අය තමන් පිනවා ගනිමින් කළා වූ අපවිත්‍රකම්, ලිංගික අනාචාර හා කාමුක සල්ලාලකම් ගැන පසුතැවිලි නො වීමෙන් ඒ අය ගැන මට වැලපෙන්නට වේ දෝයි කියා ද මම බය වෙමි.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">මා ඔබ වෙත එන තුන් වන වතාවයි මේ. “හැම කාරණයක්ම සාක්ෂිකරුවන් දෙදෙනකු හෝ තිදෙනකුගේ සාක්ෂිය මත ස්ථිර විය යුතු ය.”</verse>
				<verse number="2">කලින් පව් කර තිබූ අයට හා සෙසු හැමට අවවාද කර ඇත්තෙමි. මා ආපසු පැමිණියහොත්, ඔවුන්ට අනුකම්පාවක් දක්වන්නේ නැති වග දෙවන වරට මා ඔබ වෙත ආ කල, ඔබ ළඟ සිට කී ලෙස, දැන් දුර සිට ද අවවාද කරමි.</verse>
				<verse number="3">එසේ කරන්නේ, මා තුළින් ක්‍රිස්තුස්වහන්සේ කතා කරන බවට ඔබ ඔප්පු-සාක්ෂි ඉල්ලා සිටින බැවිනි. උන්වහන්සේ ඔබ කෙරෙහි දුර්වලව නො ව ඔබ අතරේ බලවත්ව සිටින සේක.</verse>
				<verse number="4">මන්ද උන්වහන්සේ දුබලතාවෙන් යුතුව කුරුසිපත් කරන ලද නමුදු, දෙවියන්වහන්සේගේ බලයෙන් ජීවත් වන සේක. එලෙස අපත්, උන්වහන්සේ තුළ දුර්වල වුව ද, උන්වහන්සේ සමඟ දෙවියන්වහන්සේගේ බලයෙන් යුතුව ඔබ උදෙසා ජීවත් වන්නෙමු.</verse>
				<verse number="5">තමන් ඇදහිල්ල තුළදැයි බලා ගන්න පිණිස, ඔබම තමන් විමසා ගන්න. ඔබම සෝදිසි කරගන්න; ඔබ තුළ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ සිටිනා වග ඔබ වටහා ගෙන නැද්ද? එහෙම නැතිනම් ඇදහිල්ලේ සෝදිසි කිරීමට අනුව ඔබ අසමත් ය.</verse>
				<verse number="6">එහෙත් අප, එම සෝදිසි කිරීමට අනුව අසමත්ව නැති වග ඔබ දැනගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.</verse>
				<verse number="7">ඔබ, කිසි වැරැද්දක් නො කරන පිණිස අපි දෙවියන්වහන්සේට යාච්ඤා කරන්නෙමු. පරීක්ෂණයෙන් අප සමත් වග පෙනී යන පිණිස නො ව, පරීක්ෂණයෙන් අප අසමත් යයි පෙනී ගියා වුව ද ඔබ, හරි දේ කරන පිණිස යාච්ඤා කරන්නෙමු.</verse>
				<verse number="8">මන්ද සත්‍යය සඳහා පමණක්ම ය මිස, සත්‍යයට එරෙහිව කිසිවක් කිරීමට අපට නුපුළුවන.</verse>
				<verse number="9">අප දුබලව සිටින අතරේ ඔබ ප්‍රබල වේ නම්, ඒ ගැන අප සතුටු ය. ඔබ සම්පූර්ණ වීම අපගේ යාච්ඤාවයි.</verse>
				<verse number="10">ඔබ වෙත ඒමට කලින් මා මේ දේවල් ලියා එවන්නේ, බිඳහෙළීමට නො ව, ඔබ ගොඩ නැගීමට අප ස්වාමින්වහන්සේම මට දුන් අධිපති බලය, මා ඔබ වෙත ආ කල්හි තද පරුෂ ලෙස යෙදවීමට සිදු නො වන පිණිස ය.</verse>
				<verse number="11">සහෝදරයිනි ප්‍රීතිවන්න! සම්පූර්ණත්වය අරමුණු කරගන්න. එකිනෙකා ධෛර්යවත් කරන්න. එකිනෙකා හා එකඟ වන්න. සාමයෙන් ජීවත් වන්න. ප්‍රේමයේත්, සාමයේත් දෙවියන්වහන්සේ ඔබ සමඟ වන සේක.</verse>
				<verse number="12">එකිනෙකා සමඟ ශුද්ධ සිපාචාරයකින් සමාචාර දක්වන්න.</verse>
				<verse number="13">සියලු ශුද්ධවන්තයෝ ඔබට ආචාර කරති.</verse>
				<verse number="14">යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ද දෙවියන්වහන්සේගේ ප්‍රේමය ද ශුද්ධාත්මයාණන්වහන්සේගේ සහභාගිත්වය ද ඔබ හැම සමඟ පවතීවා!</verse>
			</chapter>
		</book>
		<book number="48">
			<chapter number="1">
				<verse number="1">මිනිසුන් වෙතින් හෝ මිනිසකු මඟින් හෝ නො ව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ද උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේ ද විසින් එවන ලද අපෝස්තුලුවරයකු වූ පාවුල් හා</verse>
				<verse number="2">මා සමඟ සිටින සියලු සහෝදරයින් වෙතින්, ගලාතියේ සභා වෙතයි:</verse>
				<verse number="3">අපගේ පියාණන් වන දෙවියන්වහන්සේ වෙතින් හා යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ වෙතින් ඔබට අනුග්‍රහයත්, සාමයත් අත් වේවා!</verse>
				<verse number="4">උන්වහන්සේ, මේ වත්මන් දුෂ්ට යුගයෙන් අප මුදා ගන්නා පිණිස, අපගේ පාප උදෙසා තමන්ම පූජා වූයේ, අපගේ දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේගේ අභිප්‍රාය පරිද්දෙනි.</verse>
				<verse number="5">උන්වහන්සේට සදහට, සදාතනිකව තේජෝ මහිම වේවා! ආමෙන්.</verse>
				<verse number="6">ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහය තුළ ඔබ කැඳවාගත් තැනැන්වහන්සේ මෙතරම් ඉක්මනින් අත්හැර, ඔබ අමුතු ශුභාරංචියක් වෙත හැරී යෑම මට මහ පුදුමයක්.</verse>
				<verse number="7">එය වෙනත් ශුභාරංචියක් නො වේ. ඇතමුන්ට ඕනෑව ඇත්තේ, ඔබ අවුලට පත් කර, ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය විකෘති කිරීමයි.</verse>
				<verse number="8">එහෙත් අප ඔබට දේශනා කළ එක හැර, වෙන අන් ශුභාරංචියක් අප හෝ ස්වර්ගයෙන් දේව දූතයකු හෝ ඔබට දේශනා කරන්නේ නම්, ඔහු ශාප ලද්දෙක් වේවා!</verse>
				<verse number="9">කලින් අප කී පරිදි, දැන් මම යළිත් කියමි; ඔබ පිළිගෙන ඇති එක හැර වෙන ශුභාරංචියක් යමකු ඔබට දේශනා කරන්නේ නම්, ඔහු ශාප ලද්දෙක්ම වේවා!</verse>
				<verse number="10">මා දිනා ගන්නට වැර දරන්නේ මිනිසුන්ගේ ප්‍රසාදය ද? දෙවියන්වහන්සේගේ ප්‍රසාදය ද? මා වෙහෙසෙන්නේ මිනිසුන් සතුටු කරන්නට ද? මා තවමත් මිනිසුන් සතුටු කරන්නෙක් නම්, මා ක්‍රිස්තුස්වහන්සේගේ දාසයකු වන්නේ නැත.</verse>
				<verse number="11">සහෝදරයිනි, මා දේශනා කළ ශුභාරංචිය, මිනිසුන් සෑදූ ශුභාරංචියක් නො වන වග ඔබ දැන ගන්නවාට කැමතියි.</verse>
				<verse number="12">මන්ද එය කිසිවකුගෙන් මා ලබා ගත්තා නො වේ; මට එය ඉගැන්නුවා ද නො වේ. මා එය ලද්දේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරවුවකිනි.</verse>
				<verse number="13">මන්ද යූදා දහමේ සිටියදී මගේ කල් ක්‍රියාව ගැන, කොතෙක් සැහැසි ලෙස මා දෙවියන්වහන්සේගේ සභාවට පීඩා කළේ ද එය විනාශ කිරීමට කොතෙක් වැර දැරුවේ ද කියා ඔබ අසා ඇති.</verse>
				<verse number="14">යූදා දහම් විෂයෙහි මගේ රට වැසියන් අතරේ මගේ වයසේ බොහෝ දෙනකු අභිබවමින් මම මගේ පියවරුන්ගේ චාරිත්‍ර ගැන ඉහ වහා ගිය උද්යෝගයෙන් ඇවිළ සිටියෙමි.</verse>
				<verse number="15">එහෙත් මව් කුස පටන් මා වෙන් කරගෙන, ස්වකීය අනුග්‍රහයෙන් මා කැඳවූ තැනැන්වහන්සේ,</verse>
				<verse number="16">ස්වකීය පුත්‍රයාණන් මට එළිදරවු කිරීමට කැමති වූයේ, මා අන්‍ය-ජාතීන් අතරේ උන්වහන්සේ දේශනා කරන පිණිස ය. එකෙණෙහිම මා කිසි මිනිසකුගෙන් උපදෙස් සෙව්වේ නැත;</verse>
				<verse number="17">මට කලින් අපෝස්තුලුවරුන්ව සිටි අය දකින්නට මා යෙරුසලම් වෙත ගියේ ද නැත. මම අරාබියට ගොස්, පසුව දමස්කය වෙත ආපසු ආවෙමි.</verse>
				<verse number="18">එයින් තුන් වසරකට පසුව, කේපස් බැහැ දැකීමට මම යෙරුසලමට ගොස්, ඔහු සමඟ පහළොස් දවසක් ගත කළෙමි.</verse>
				<verse number="19">ස්වාමින්වහන්සේගේ සහෝදර යාකොබ් හැර, අන් එකම අපෝස්තුලුවරයකුදු මා දුටුවේ නැත.</verse>
				<verse number="20">දෙවියන්වහන්සේ ඉදිරියේ මා ඔබට ලියන්නේ බොරු නො වේ.</verse>
				<verse number="21">පසුව මම සිරියා හා සිලිසියා පෙදෙස් කරා ගියෙමි.</verse>
				<verse number="22">ක්‍රිස්තුස්වහන්සේ තුළ යුදයේ සභා, මා කවුරුදැයි පුද්ගලිකව දැන සිටියේ නැත.</verse>
				<verse number="23">“කලින් අපට හිංසා කළ මිනිසා, වැනසීමට තමාම වරක් තැත් කළ ඇදහිල්ල දැන් ඔහුම දේශනා කරයි” යන පුවත ඔවුන් අසා තිබුණා පමණි.</verse>
				<verse number="24">මෙසේ ඔවුහු මා නිසා දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">අවුරුදු දාහතරකට පසු, මා යළිත් යෙරුසලමට ගියේ බාර්ණබස් සමඟ ය; තීතස් ද මා සමඟ ගෙන ගියෙමි.</verse>
				<verse number="2">මා එහි ගියේ, එළිදරවුවකට අනුව ය. මා දුවමින් සිටියේත්, දිව්වේත් නිෂ්ඵලව නො වන වග සහතික කරගන්නා පිණිස, අන්‍ය-ජාතීන් අතර මා ප්‍රකාශ කළ ශුභාරංචිය, ප්‍රධානීන් සේ සැලකුණු අයට පෞද්ගලිකව පෙන්වා දුන්නෙමි.</verse>
				<verse number="3">එහෙත් මා සමඟ සිටි තීතස් ග්‍රීකයකු වුව ද, ඔහු චර්මඡේද කළ යුතුය යන බලකිරීමක් වූයේ නැත.</verse>
				<verse number="4">ප්‍රශ්නය පැන නැගුණේ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ අප භුක්ති විඳින නිදහස ගැන ඔත්තු බලා, වහලුන් බවට අප පැමිණවීමේ අරමුණින්, හොර රහසේ අප අතරට රිංගා ගත් ව්‍යාජ සහෝදරයින් හේතුවෙනි.</verse>
				<verse number="5">එහෙත් ශුභාරංචියේ සත්‍යතාව ඔබ සමඟ රැඳී පවතින පිණිස එක් පැයකටවත් අප ඔවුනට යටත් වී ඉඩ දුන්නේ නැත.</verse>
				<verse number="6">ප්‍රධානීන් සේ සැලකුණු අය, (ඔවුන් කවර තත්වයක් දැරුව ද මට එහි වෙනසක් නැත. දෙවියන්වහන්සේ මිනිසුන්ගේ තරාතිරම් තකන්නේ නැත.) ප්‍රධානීන් සේ සැලකුණා යයි මා කී අය මගේ පණිවුඩයට කිසිවක් එකතු කළේ නැත.</verse>
				<verse number="7">අනෙක් අතට, චර්ම-ඡේදිතයන් උදෙසා වූ ශුභාරංචිය පේතෘස්ට පැවරුණු සේ ම, චර්මඡේද නො වූවනට ශුභාරංචිය දීම මට පවරා ඇති බැව් ඔවුහු දුටහ.</verse>
				<verse number="8">මන්ද චර්මඡේද වූවන්ට අපෝස්තුලුවරයා වශයෙන් පේතෘස්ගේ සේවය තුළ ක්‍රියාකාරී වූ තැනැන්වහන්සේ, අන්‍ය-ජාතීන්ට මාගේ සේවය තුළත් ක්‍රියාකාරී වූ සේක.</verse>
				<verse number="9">මට දී තිබූ ඒ අනුග්‍රහය හැඳිනගත් කල, සභා කණු මෙන් සැලකෙන යාකොබ්, කේපස් හා යොහන් පංගුකාරකමේ දකුණත බාර්ණබස්ටත්, මටත් දුන්නේ, අප අන්‍ය-ජාතීන් වෙතත්, ඔවුන් චර්මඡේදිතයින් වෙතත් යා යුතු බවට එකඟ වෙමිනි.</verse>
				<verse number="10">ඔවුන් ඉල්ලූ එකම දේ දුප්පතුන් සිහි තබා ගන්නා ලෙසයි. කරන්නට මා ඉතා ආශා වූ දේ ද එයමයි.</verse>
				<verse number="11">කේපස්, අන්තියෝකිය වෙත ආ කල, ඔහු වරද කර සිටියෙන්, මම ඔහුගේ මුහුණටම විරෝධය පෑමි.</verse>
				<verse number="12">මන්ද යාකොබ් වෙතින් කීප දෙනකු එන්නට කලින් අන්‍ය-ජාතිකයින් සමඟ එකට ආහාර ගත් ඔහු, ඔවුන් පැමිණි පසු පසුබා, අන්‍ය-ජාතිකයින්ගෙන් වෙන්ව සිටින්නට වූයේ අර චර්මඡේදිත කණ්ඩායමට බියෙනි.</verse>
				<verse number="13">ඔහු සමඟ අනිකුත් යුදෙව්වන් ද කුහක ලෙස ක්‍රියා කළේ, බාර්ණබස් පවා ඔවුන්ගේ ඒ කුහකකමට ඇදී යන පරිද්දෙනි.</verse>
				<verse number="14">මෙසේ ඔවුන් ශුභාරංචියේ සත්‍යතාවට අනුව ක්‍රියා නො කරන බැව් දුටු මම, ඔවුන් සියල්ලන් ඉදිරිපිට කේපස්ට මෙසේ කීවෙමි. “යුදෙව්වකු වෙලත් ඔබ ජීවත් වන්නේ යුදෙව්වකු ලෙස නො ව, අන්‍ය-ජාතිකයකු ලෙසයි. එසේ නම් යුදෙව්වන් ලෙස ජීවත්වන්නැයි අන්‍ය-ජාතීන්ට ඔබ බල කරන්නේ කොහොම ද?”</verse>
				<verse number="15">උපතින්ම අප යුදෙව්වන් විනා, අන්‍ය-ජාතික පව්කරුවන් නො වේ;</verse>
				<verse number="16">එහෙත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල මඟින් මිස, දහම් නීතියේ ක්‍රියාවලින් කිසිවකු නිර්දෝෂ කරනු නො ලබන බැව් අපි දනිමු. එබැවින් දහම් නීතියේ ක්‍රියාවලින් නො ව, ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල මඟින් නිර්දෝෂ කරනු ලබන පිණිස, අපිත් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ අදහා ගත්තෙමු. මන්ද දහම් නීතියේ ක්‍රියා මඟින් කිසිවකු ධර්මිෂ්ඨ කොට ගණන් ගනු ලබන්නේ නැත.</verse>
				<verse number="17">ක්‍රිස්තුස්වහන්සේ තුළ නිර්දෝෂ කරනු ලබන්නට සොයමින් අපත් පව්කරුවන් සේ පෙනේ ද? එසේ නම් ක්‍රිස්තුස්වහන්සේ පාපයේ සේවකයෙක් ද? සත්තකින්ම නැත!</verse>
				<verse number="18">මන්ද මා විසින් බිඳ දැමූ දෑ, යළි මා ගොඩ නගනවා නම්, මා නීති කඩන්නකු වෙයි.</verse>
				<verse number="19">“මන්ද දහම් නීතිය කරණකොටගෙන මා දහම් නීතියට මැරුණේ දෙවියන්වහන්සේ උදෙසා ජීවත් වන පිණිස ය.</verse>
				<verse number="20">ක්‍රිස්තුස්වහන්සේ සමඟ මම කුරුසිපත් කරනු ලදිමි. තවදුරටත් ජීවත් වන්නේ මා නො වේ. ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත් වන සේක. දැන් මාංසයේ වෙසෙමින් මා ගෙවන මේ ජීවිතය මා ජීවත් වන්නේ, මට ප්‍රේම කළ, මා උදෙසා තමන්ම පූජා වූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් තුළ ඇදහිල්ලෙනි,</verse>
				<verse number="21">දෙවියන්වහන්සේගේ අනුග්‍රහය මම නිෂ්ප්‍රභා නො කරමි. මන්ද ධර්මිෂ්ඨකම දහම් නීතිය මඟින් ලද හැකි වී නම්, ක්‍රිස්තුස්වහන්සේ මැරුණේ නිකරුණේ ය!”</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">අහෝ අඥාන ගලාතිවරුනි! ඇස් බැන්දුමකින් ඔබ මුළා කළේ කවුරු ද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කුරුසිපත් කරනු ලැබීම ප්‍රසිද්ධියේ ඔබේ ඇස් පනා පිට දක්වනු ලැබී ය.</verse>
				<verse number="2">මෙය පමණක් ඔබෙන් අසමි; ඔබ ආත්මයාණන්වහන්සේ ලද්දේ දහම් නීතියේ ක්‍රියාවලින් ද? නැතිනම් ඇසූ දෑ අදහා ගැනීමෙන් ද?</verse>
				<verse number="3">ඔබ ඔතරම් අඥාන ද? ආත්මයාණන්වහන්සේ තුළින් අරඹා, දැන් මාංසයෙන් සම්පූර්ණ වන්නට සිතන්නහු ද?</verse>
				<verse number="4">ඔබ ඒ සා දුක් පීඩා වින්දේ අර්ථයක් නැතිව ද? ඇත්තෙන්ම ඒවා අර්ථ විරහිත ද?</verse>
				<verse number="5">ආත්මයාණන් ඔබට සපයා දෙන තැනැන්වහන්සේ ඔබ අතරේ හාස්කම් කරන්නේ, දහම් නීතියේ ක්‍රියාවලින් ද? නැතහොත් ඔබ ඇසූ දෑ ඇදහීමෙන් ද?</verse>
				<verse number="6">එය, ආබ්‍රහම්, “දෙවියන්වහන්සේ ඇදහී ය; එය ඔහුට ධර්මිෂ්ඨකම වශයෙන් ගණන් ගනු ලැබී ය” යන පරිද්දෙනි.</verse>
				<verse number="7">එබැවින් ආබ්‍රහම්ගේ පුත්‍රයින් වන්නේ ඇදහිල්ලෙන් වූ අය වග වටහා ගන්න.</verse>
				<verse number="8">දෙවියන්වහන්සේ අන්‍ය-ජාතීන් නිර්දෝෂකමට පමුණුවන්නේ ඇදහිල්ල මඟින් බැව් කල්තියා දත් ශුද්ධ ලියවිල්ල, “සියලු ජාතීන්, ඔබ තුළ ආශිර්වාද ලබනු ඇතැ” යි යන ශුභාරංචිය කල්තියා ආබ්‍රහම්ට ප්‍රකාශ කර ඇත.</verse>
				<verse number="9">එබැවින් ඇදහිල්ලෙන් වූවෝ, ඇදහිල්ලේ මනුෂ්‍යයා වූ ආබ්‍රහම් සමඟ ආශිර්වාදය ලබති.</verse>
				<verse number="10">මන්ද දහම් නීති ක්‍රියා මත යැපෙන සියල්ලන් ශාපයකට යටත් ය, මන්ද: “දහම් නීති පොතේ ලියන ලද සියලු දේහි පැවත නො සිටින, ඒවා නො පිළිපදින හැම කෙනෙක්ම ශාප ලද්දෙකි” යි ලියා තිබේ.</verse>
				<verse number="11">දහම් නීතිය මඟින් කිසිවකු දෙවියන්වහන්සේ ඉදිරියේ නිර්දෝෂ කරනු ලබන්නේ නැති වග පැහැදිලි ය. මන්ද “ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වේ.”</verse>
				<verse number="12">දහම් නීතිය ඇදහිල්ලෙන් නො වේ; ඊට වෙනස් ය. “ඒ දෑ කරන තැනැත්තා එයින් ජීවත් වන්නේ ය.”</verse>
				<verse number="13">මන්ද: “ගසක එල්ලන ලද හැම කෙනෙක්ම ශාප ලද්දෙකි” යි ලියා ඇති ලෙස, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා ශාපය වෙමින්, දහම් නීතියේ ශාපයෙන් අප මුදා ගත්තේ,</verse>
				<verse number="14">ශුද්ධාත්ම පොරොන්දුව ඇදහිල්ල තුළින් අප ලබන පිණිස, ආබ්‍රහම්ට දෙන ලද ආශිර්වාදය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළින් අන්‍ය-ජාතීනට ද අත්වන පිණිස ය.</verse>
				<verse number="15">එදිනෙදා ජීවිතයෙන් උදාහරණයක් ගතහොත්, සහෝදරයිනි, මිනිසුන් අතරේ යම් ගිවිසුමක් ස්ථිර කරන ලද පසු, එය අවලංගු කිරීම හෝ ඊට යමක් එකතු කිරීම හෝ කළ නො හැක.</verse>
				<verse number="16">පොරොන්දු පවසන ලද්දේ ආබ්‍රහම්ට හා ඔහුගේ වංශයට ය. “ඔහුගේ වංශ” යනුවෙන් බොහෝ දෙනකු යන අරුතින් නො ව, එක් කෙනකු යන අරුතින් “ඔබගේ වංශයට” යනුවෙනි. ඒ ක්‍රිස්තුස්වහන්සේ ය.</verse>
				<verse number="17">මා අදහස් කරන්නේ මෙයයි: දෙවියන්වහන්සේ විසින් ස්ථාපිත ගිවිසුම, ඉන් වසර හාරසිය තිහකට පසු පැමිණි දහම් නීතිය මඟින් අවලංගු කළ නො හැකි බවයි; එමඟින් පොරොන්දුව නිෂ්ප්‍රභා කළ නො හැකි බවයි.</verse>
				<verse number="18">මන්ද උරුමය එන්නේ දහම් නීතිය මඟින් නම්, තවදුරටත් එය පොරොන්දුවෙන් නො වේ. එහෙත් දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට එය දුන්නේ පොරොන්දුවකිනි.</verse>
				<verse number="19">එසේ නම් දහම් නීතිය කුමට ද? සැබවින් ම එය පොරොන්දුව අදහස් කළ “වංශය” පැමිණෙන තෙක්, අපරාධ ඇඟවීමට එකතු කරන ලද්දකි. එය පනවන ලද්දේ මැදහත්කරුවකු අතින්, දේව දූතයින් මඟිනි.</verse>
				<verse number="20">මැදහත්කරුවකු නියෝජන කරන්නේ එක් පාර්ශ්වයක් පමණක් නො වේ; එහෙත් දෙවියන්වහන්සේ එක්කෙනෙක්ම ය.</verse>
				<verse number="21">එසේ නම් දහම් නීතිය දෙවියන්වහන්සේගේ පොරොන්දු හා ප්‍රති විරෝධී ද? සත්තකින්ම නැත! මන්ද ජීවනය ගෙන දිය හැකි දහම් නීතියක් දී තිබුණි නම්, ඇත්තෙන්ම ධර්මිෂ්ඨකම දහම් නීතිය මඟින් ආ හැකිව තිබිණි.</verse>
				<verse number="22">එහෙත් පොරොන්දුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහීම මඟින් අදහාගන්නන්ට දෙනු ලබන පිණිස, ලියවිල්ල හැම දෙයක්ම පාපය යටතේ සිරකර තැබී ය.</verse>
				<verse number="23">ඇදහිල්ල ඒමට පෙර, ඒ ඇදහිල්ල එළිදරවු කරන තෙක්, අපි දහම් නීතිය යටතේ අල්ලා ගනු ලැබ, සිරගත කරනු ලැබ සිටියෙමු.</verse>
				<verse number="24">මෙසේ ඇදහිල්ල මඟින් අප නිර්දෝෂ කරනු ලබන පිණිස, ක්‍රිස්තුස්වහන්සේ වෙත අපට මගපෙන්වන භාරකරුවා වූයේ දහම් නීතියයි.</verse>
				<verse number="25">එහෙත් දැන් ඇදහිල්ල පැමිණ ඇති බැවින්, තවදුරටත් අප භාරකරුවකු යටතේ නො වේ.</verse>
				<verse number="26">මන්ද ඔබ හැම ඇදහිල්ල මඟින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ පුත්‍රයින් ය.</verse>
				<verse number="27">මන්ද ක්‍රිස්තුස්වහන්සේ තුළට බව්තීස්ම කරනු ලැබූ ඔබ හැම කෙනෙක්ම ක්‍රිස්තුස්වහන්සේ පැලඳ ගත්හ.</verse>
				<verse number="28">එහි යුදෙව්වකුවත්, ග්‍රීකයකුවත් නැත; වහලකුවත්, නිවහල් කෙනකුවත් නැත; පුරුෂයකුවත්, ස්ත්‍රියකවත් නැත. මන්ද ඔබ හැම ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ එක්කෙනෙකි.</verse>
				<verse number="29">ඔබ, ක්‍රිස්තුස්වහන්සේට අයිති නම්, ඔබ ආබ්‍රහම්ගේ වංශය ය. පොරොන්දුවට අනුව උරුමකරුවෝ ය.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">මා කියන්නේ මෙයයි; උරුමකරු, මුළු බූදලයට හිමිකරු වුව ද, බාල වයස්කරුවකුව සිටින තාක්, ඔහු දාසයකුට වඩා වෙනස් නො වෙයි.</verse>
				<verse number="2">ඔහුගේ පියා නියම කළ කාලය තෙක් ඔහු භාරකරුවනට හා ඇපකරුවනට යටත් ය.</verse>
				<verse number="3">එසේම අපත්, බාලයන්ව සිටියදී ලෝක ධර්මතාවනට වහල්ව සිටියෙමු.</verse>
				<verse number="4">එහෙත් කල් පිරුණු කල, දහම් නීතිය යටතේ උපන්, ස්ත්‍රියකගෙන් උපන් ස්වකීය පුත්‍රයාණන් දෙවියන්වහන්සේ එවුවේ,</verse>
				<verse number="5">අප, පුත්‍රකම ලබන පිණිස, දහම් නීතිය යටතේ සිටින්නවුන් මුදා ගැනීමට ය.</verse>
				<verse number="6">ඔබ පුත්‍රයින් නිසා දෙවියන්වහන්සේ, “අබ්බා පියාණෙනි” යි හඬ ගසන ස්වකීය පුත්‍රයාණන්ගේ ආත්මයාණන් අප හදවත්වලට එවූ සේක.</verse>
				<verse number="7">එබැවින් තවදුරටත් ඔබ දාසයකු නො වේ; පුත්‍රයෙක්ම ය. පුත්‍රයකු නම්, දෙවියන්වහන්සේගේ ක්‍රියාවෙන් උරුමකරුවෙකි.</verse>
				<verse number="8">ඉහත, දෙවියන්වහන්සේ නෑඳින සිටි කල, ස්වභාවයෙන් දෙවිවරුන් නො වන්නවුන්ට ඔබ වහල්ව සිටියහ.</verse>
				<verse number="9">එහෙත් දැන් ඔබ දෙවියන්වහන්සේ හැඳින සිටියදීත්, ඊටත් වඩා දෙවියන්වහන්සේ විසින් ඔබ හැඳින ගනු ලැබ සිටියදීත් ඒ දුබල, නො වටිනා ලෝක ධර්මතා වෙත ආපසු හැරී යන්නේ කෙසේ ද? යළි ඒවායේ වහලුන් වීමට ඔබට ඕනෑ ද?</verse>
				<verse number="10">ඔබ විශේෂ දවස්, මාස, කාල හා අවුරුදු සලකති.</verse>
				<verse number="11">ඔබ උදෙසා මා දැරූ වෙහෙස අපතේ යාදෝයි මට බයක් ඇත.</verse>
				<verse number="12">සහෝදරයිනි, මා වගේ වන්නැයි මම ඔබට ආයාචනා කරමි. මන්ද මම ඔබ වගේ වූයෙමි. ඔබ මට කිසි වරදක් කළේ නැත.</verse>
				<verse number="13">ඔබ දන්නා පරිදි, මුල් වරට මා ඔබට ශුභාරංචිය දේශනා කළේ, මාගේ කායික ආබාධයක් තිබියදී ය.</verse>
				<verse number="14">මාගේ රෝගය ඔබට පරීක්ෂාවක් වුවත්, ඔබ මා පිළිකුල් කළේවත්, අවඥාවට ලක් කළේවත් නැත. සැබෑවට ඔබ මා පිළිගත්තේ දෙවියන්වහන්සේගේ දූතයකු පරිද්දෙනි; ක්‍රිස්තුස් යේසුස්වහන්සේ පරිද්දෙනි.</verse>
				<verse number="15">ඒ සොම්නසට මොකද වුණේ? කළ හැකි විණි නම්, ඔබගේ ඇස් වුව උගුලා මට දෙන්නට තරම් ඔබ ලෙන්ගතුව සිටි වග මට සහතික ය.</verse>
				<verse number="16">ඔබට ඇත්ත කීමෙන් දැන් මා ඔබට සතුරකු වෙලා ද?</verse>
				<verse number="17">ඔබ දිනා ගන්නට ඔවුන් උද්යෝගි වන්නේ හොඳ අරමුණකින් නො වේ. ඔවුන්ට වුවමනා ඔබ අහක් කරගෙන, ඔබගේ උද්යෝගය ඔවුන් වෙත යොමු කරවා ගැනීමයි.</verse>
				<verse number="18">මා ඔබ සමඟ සිටියදී පමණක් නො ව අන් හැම විටත්, හොඳ අරමුණකට හැම විට උද්යෝගි වීම හොඳ ය.</verse>
				<verse number="19">මා ප්‍රිය දරුවනි, ක්‍රිස්තුස්වහන්සේ ඔබ තුළ හැඩගැස්වෙන තෙක් ඔබ උදෙසා මම යළිත් ප්‍රසව වේදනා විඳිමි.</verse>
				<verse number="20">හැකි නම් මෙවෙලේ ඔබ ළඟ සිට, මාගේ කතා විලාශය වෙනස් කර ගැනීමට කැමැත්තෙමි. ඇත්තෙන්ම ඔබ ගැන මගේ සිත වියවුල් වී තිබේ.</verse>
				<verse number="21">මට මෙය කියන්න, දහම් නීතිය යටතේ සිටින්නට ආශා ඔබ, දහම් නීතියට කන් දෙන්නේ නැද්ද?</verse>
				<verse number="22">මන්ද ආබ්‍රහම්ට පුතුන් දෙදෙනකු සිටි වග ලියා තිබේ; කෙනෙක් වහල් ළඳගෙනි; අනෙක් කෙනා නිවහල් ළඳගෙනි.</verse>
				<verse number="23">එහෙත් වහලියගෙන් ලද පුත්‍රයා උපන්නේ මාංසයට අනුව ය; නිවහල් ළඳගෙන් ලද පුත්‍රයා උපන්නේ පොරොන්දුව මඟිනි.</verse>
				<verse number="24">මෙය උපමාවකට ගත හැකි ය: මේ ළඳුන් දෙදෙනා ගිවිසුම් දෙකකි; ඉන් එකක් වහල්කමට දරුවන් බිහි කරන සීනයි කන්දෙනි: ඒ හාගර් ය.</verse>
				<verse number="25">හාගර් අරාබියේ සීනයි කන්ද ය; ඕ වත්මන් යෙරුසලමට අනුරූපීව, ඇගේ දරුවන් සමඟ වහල්බවෙහි සිටින්නී ය.</verse>
				<verse number="26">එහෙත් ස්වර්ගීක යෙරුසලම නිවහල් ය; ඕ අපගේ මාතාවයි.</verse>
				<verse number="27">මන්ද මෙසේ ලියවී තිබේ: “ඔහෝ, ප්‍රීතිවන්න, දරුවන් නො දැරූ වඳ තැනැත්තිය, ප්‍රසව වේදනා නො විඳි තැනැත්තිය, සතුටින් මොරහඬ නගන්න; මන්ද ස්වාමි පුරුෂයකු ඇති තැනැත්තියට වඩා, අතැර දමන ලද තැනැත්තියට දරුවන් බොහෝ වෙත.”</verse>
				<verse number="28">සහෝදරයිනි, ඊසාක් මෙන් ඔබත් පොරොන්දුවේ දරුවන් ය.</verse>
				<verse number="29">එකල, මාංසයට අනුව උපන් පුත්‍රයා, ආත්මයාණන්ට අනුව උපන් පුත්‍රයාට පීඩා කළ අයුරින් දැනුත් සිදු වේ.</verse>
				<verse number="30">එහෙත් ශුද්ධ ලියවිල්ල කුමක් කියන්නේ ද? “වහලියත්, ඇගේ පුත්‍රයාත් පන්නා දමනු. මන්ද වහල් ළඳගේ පුත්‍රයා, නිවහල් ළඳගේ පුත්‍රයා සමඟ උරුමය ලබන්නේ නැත” යන්නයි.</verse>
				<verse number="31">එබැවින් සහෝදරයිනි, අප වහල් ළඳගේ දරුවෝ නො ව, නිවහල් ළඳගේ දරුවෝ ය.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">ක්‍රිස්තුස්වහන්සේ අප නිදහස් කළේ නිවහල්ව සිටීමට ය. එබැවින් ස්ථාවරව සිටගන්න; වහල් බවේ වියගහට යළි යට නො වන්න.</verse>
				<verse number="2">බලන්න! පාවුල් වන මා, ඔබට කියන්නේ, ඔබ චර්මඡේද කරන්නට ඔබම ඉඩ දෙනවා නම්, ඔබට ක්‍රිස්තුස්වහන්සේගෙන් ඇති ප්‍රයෝජනයක් නැත කියායි.</verse>
				<verse number="3">යළිත් මා ඔබට සහතික කොට කියන්නේ, තමන් චර්මඡේද කරවා ගන්නා හැම මිනිසකුම, සමස්ත දහම් නීතිය පිළිපැදීමේ බැඳීමකට යටත් බවයි.</verse>
				<verse number="4">දහම් නීතිය මඟින් දමිටු කරනු ලබන්නට කැමති ඔබ, ක්‍රිස්තුස්වහන්සේ වෙතින් පිට මං කරනු ලැබ, අනුග්‍රහයෙන් වැටී ගියහු ය.</verse>
				<verse number="5">මන්ද ආත්මයාණන්වහන්සේ තුළින්, ඇදහිල්ලෙන්, අප ලැදියාවෙන් බලා හිඳින්නේ, ධර්මිෂ්ඨකමේ බලාපොරොත්තුවයි.</verse>
				<verse number="6">මන්ද චර්මඡේදනයවත්, චර්ම අඡේදනයවත් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ගණන් නො ගැණේ. ගණන් ගැනෙන්නේ ප්‍රේමයෙන් ක්‍රියා කරන ඇදහිල්ල පමණ ය.</verse>
				<verse number="7">ඔබ සිටියේ හොඳින් දුවමිනි; සත්‍යයට කීකරු වීමට ඔබට බාධා කළේ කවුරු ද?</verse>
				<verse number="8">මෙම පෙලඹවීම, ඔබ කැඳවනු ලැබූ තැනැන්වහන්සේගෙන් නො වේ.</verse>
				<verse number="9">“මුහුන් ඇබින්දකින් මුළු පිටි කැටියම පිපෙයි.”</verse>
				<verse number="10">මා දරන ආකල්පය මිස, අනෙකක් ඔබට නැති බවට විශ්වාසයක් ස්වාමින්වහන්සේ තුළ මට තියේ. වියවුලට ඔබ ඇද දමන තැනැත්තා කවරකු වුවත් ඊට නිසි දඬුවම ඔහු ලබනු ඇත.</verse>
				<verse number="11">සහෝදරයිනි මා තවමත් චර්මඡේදය දේශනා කරනවා නම්, තවමත් මා පීඩා කරනු ලබන්නේ ඇයි? ඒ එසේ වී නම්, කුරුසියට ඇති විරෝධය අවලංගු වූවා වෙයි.</verse>
				<verse number="12">ඔවැනි කැලඹීම් ඇති කරන්නන් තමන්ම නපුංසක බව තෙක් කප්පාදු කරගන්නවා නම් මැනවි.</verse>
				<verse number="13">මන්ද, මා සහෝදරයිනි, ඔබ කැඳවනු ලැබ ඇත්තේ නිදහස්කමට ය. එහෙත් ඒ නිදහස මාංසය පිනවීමට නො ව, එකිනෙකාට ප්‍රේමයෙන් සේවය කිරීමට යොදන්න.</verse>
				<verse number="14">මන්ද: “ඔබ ඔබටම ප්‍රේම කරන සේ, ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න” යන තනි ආඥාවේ සමස්ත දහම් නීතියම ඉෂ්ට වෙයි.</verse>
				<verse number="15">එහෙත් ඔබ, එකිනෙකා සපා ගනිමින්, ගිලගනිමින් සිටිනවා නම්, එකිනෙකා අතින් විනාශ නො වන්නට බලා ගන්න.</verse>
				<verse number="16">එබැවින් මා ඔබට කියන්නේ, ආත්මයාණන්වහන්සේ මඟින් හැසිරෙන්න කියායි. එවිට ඔබ, මාංසයේ ආශා පිනවන්නේ නැත.</verse>
				<verse number="17">මන්ද මාංසයේ ආශා, ආත්මයාණන්වහන්සේට විරුද්ධ ය; ආත්මයාණන්, මාංසයේ ආශාවනට විරුද්ධ ය. මේ දෙපාර්ශ්වය අතර ඇති ප්‍රතිවිරෝධය, ඔබ කැමති දේ කිරීමෙන් ඔබ වළක්වයි.</verse>
				<verse number="18">එහෙත් ඔබ ආත්මයාණන්ගේ මගපෙන්වීම යටතේ නම්, තවදුරටත් ඔබ දහම් නීතිය යටතේ නො වේ.</verse>
				<verse number="19">මාංසයේ ක්‍රියා පැහැදිලි ය. ඒවා නම්: ලිංගික අනාචාරය, අපවිත්‍රතාව හා ඉන්ද්‍රියයන් පිනවීම,</verse>
				<verse number="20">පිළිම වැඳීම, මන්තර ගුරුකම්, හතුරුකම, කලහ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, භේද-භින්න, අසමඟිය, පිල් බෙදීම්,</verse>
				<verse number="21">කුඩුකේඩුකම, බේබදුකම, අසංවර සාද හා තවත් එවන් දෑ ය. මේ දෑ කරන්නන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ උරුමය ලබන්නේ නැති බැව් කලින් මා කී ලෙස, දැනුත් මම අනතුරු හඟවමි.</verse>
				<verse number="22">එහෙත් ආත්මයාණන්වහන්සේගේ පල නම්, ප්‍රේමය, ප්‍රීතිය හා සාමය, ඉවසීම, කරුණාව හා සද්භාවය, විශ්වාසවන්තකම,</verse>
				<verse number="23">මෘදුකම හා ආත්ම දමනයයි. මේවාට එරෙහි නීතියක් නැත.</verse>
				<verse number="24">ක්‍රිස්තුස් යේසුස්වහන්සේට අයිති වූවෝ, තම මාංසය, එහි තෘෂ්ණා හා ආශා සමඟින් කුරුසියේ තබා ඇණ ගැසූහ.</verse>
				<verse number="25">අප ජීවත් වන්නේ ආත්මයාණන්ගෙන් නම්, ආත්මයාණන්ගෙන්ම හැසිරෙමු.</verse>
				<verse number="26">තවද කුඩුකේඩුකමින් යුතුව එකිනෙකා කුපිත කරවන පුහු අහංකාරීන් බවට පත් නො වෙමු.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">සහෝදරයිනි, යමකු නොපනත්කමක් කරද්දී අසු වුවහොත්, ආත්මික වූ ඔබ මෘදුකමින් යුතුව යළි ඔහු හරි මඟට ගෙන ආ යුතු ය. තමන් ගැනත් පරෙස්සම් වන්න; පරීක්ෂාවට නො වැටෙන්නට වගබලා ගන්න.</verse>
				<verse number="2">එකිනෙකාගේ බර ඉවසා දරා ගැනීමෙන්, ක්‍රිස්තුස්වහන්සේගේ නීතිය ඉෂ්ට කරන්න.</verse>
				<verse number="3">කමකට නැති කෙනෙක් තමා වැදගතෙකැයි සිතයි නම්, ඔහු තමා රවටා ගනී.</verse>
				<verse number="4">හැම කෙනකුම, තම ක්‍රියා කලාපය තමන්ම තක්සේරු කර ගනිත්වා; එවිට තමාම පාරට්ටු කර ගැනීමේ හේතුව තමන් තුළම ය; තම අසල්වැසියා තුළ නො වේ.</verse>
				<verse number="5">මන්ද හැම කෙනකුම තම තමාගේ බර ඉසිලිය යුතුව ඇත.</verse>
				<verse number="6">වචනය ඉගෙන ගන්නා, තමනට ඇති හැම හොඳ දෙයක්ම තමාට උගන්වන්නා සමඟ බෙදා ගත යුතු ය.</verse>
				<verse number="7">නො රැවටෙන්න; දෙවියන්වහන්සේට සරදම් කරන්නට කිසිවකුට නුපුළුවන. කෙනකු කපා ගන්නේ, ඔහුම වපුරන දෙයිනි.</verse>
				<verse number="8">මන්ද තමාගේ මාංසය උදෙසා වපුරන්නා, මාංසයෙන් ජරාවට පත්වීම කපා ගනී. ආත්මයාණන් උදෙසා වපුරන්නා, ආත්මයාණන්ගෙන් සදාතන ජීවනය නෙළා ගනියි.</verse>
				<verse number="9">එබැවින් යහ වැඩ කිරීමෙහි වෙහෙසට පත් නො වී, බලාපොරොත්තු හැර නො දමා සිටින්නෙමු නම්, නිසි කල අප අස්වනු නෙළනු ඇත.</verse>
				<verse number="10">එබැවින් අපට ඇති ඉඩ ප්‍රස්ථා අනුව හැම විට, විශේෂයෙන් ඇදහිල්ලේ පවුලට සෙත සලසමු.</verse>
				<verse number="11">බලන්න! මේ ලොකු අකුරු! දැන් මා ඔබට ලියන්නේ මගේම අතිනි.</verse>
				<verse number="12">චර්මඡේද කරන්නැයි ඔබට බල කරන්නේ මාංසික ප්‍රදර්ශනයකට වුවමනාව ඇතියවුන් ය. එසේ කිරීමේ ඔවුන්ගේ එකම අරමුණ ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසිය නිසා පැමිණෙන පීඩාවන්ගෙන් වැළකීම ය.</verse>
				<verse number="13">චර්මඡේදිත මොවුන් පවා දහම් නීතිය පිළිපදින්නේ නැත. එහෙත් ඔබත් චර්මඡේද කරවන්නට ඔවුන්ට ඕනෑව ඇත්තේ, ඔබේ මාංසය ගැන පුරසාරමට ය.</verse>
				<verse number="14">එහෙත් ලෝකයට මා කුරුසිපත් කළ, ලෝකය ද මට කුරුසිපත් වූ යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ කුරුසිය ගැන මිස, අන් කවර දෙයක් ගැනවත් පාරට්ටු කර ගැනීමට කිසි කලෙකත් මට සිදු නො වේවා!</verse>
				<verse number="15">මන්ද නව මැවිල්ල මිස, චර්මඡේදනයවත්, චර්ම අඡේදනයවත් ගණන් නො ගැණේ.</verse>
				<verse number="16">මේ ප්‍රතිපත්තිය පිළිපදින හැම දෙනාට, දෙවියන්වහන්සේගේ ඉශ්‍රායෙල්ට සාමයත්, දයාවත් වේවා!</verse>
				<verse number="17">මෙතැන් පටන් කිසිවෙක් මට කරදර නො කරත්වා. මන්ද මම යේසුස්වහන්සේගේ වේදනාවේ සලකුණු මගේ සිරුරෙහි දරන්නෙමි.</verse>
				<verse number="18">සහෝදරයිනි, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබගේ ආත්මය සමඟ පවතීවා! ආමෙන්.</verse>
			</chapter>
		</book>
		<book number="49">
			<chapter number="1">
				<verse number="1">දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වූ පාවුල් වෙතින්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ විශ්වාසනීයයන් වූ එපීසයේ ශුද්ධවන්තයින් වෙතයි:</verse>
				<verse number="2">අපගේ පියාණන් වූ දෙවියන්වහන්සේගෙන් ද යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගෙන් ද ඔබට අනුග්‍රහයත්, සාමයත් වේවා!</verse>
				<verse number="3">දෙවියන්වහන්සේ ද අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියාණන්වහන්සේ ද වූ තැනැන්වහන්සේට ප්‍රශංසා වේවා! උන්වහන්සේ, ස්වර්ග බලමණ්ඩලයන්හි සෑම ආත්මික ආශිර්වාදයකින්ම, ක්‍රිස්තුස්වහන්සේ තුළ අපට ආශිර්වාද කළ සේක.</verse>
				<verse number="4">මන්ද ලෝකය මැවීමට ප්‍රථමයෙන්, ක්‍රිස්තුස්වහන්සේ තුළ උන්වහන්සේ අප තෝරා ගත්තේ, තමන්වහන්සේ අබිමුවෙහි අප ශුද්ධව හා නො කැළැල්ව සිටින පිණිස ය. ප්‍රේමයෙන්</verse>
				<verse number="5">උන්වහන්සේ, තම අභිමතයේ කැමැත්ත පරිදි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මඟින් අප, ස්වකීය පුත්‍රයින් වගට දෛව නියමයක් කළ සේක.</verse>
				<verse number="6">එසේ කළේ, උන්වහන්සේගේ ප්‍රේමණීයයාණන් වන ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්වකීය ත්‍යාගවත්කමින් අපට දුන් මහිමවත් අනුග්‍රහයේ ප්‍රශංසාව සඳහා ය.</verse>
				<verse number="7">උන්වහන්සේ තුළ උන්වහන්සේගේ ලේ මඟින් අපට මිදීම වන අපගේ පාපවලට කමාව ඇත්තේ, දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ ඉසුරුමත් බවට අනුකූලව ය.</verse>
				<verse number="8">උන්වහන්සේ සකල ප්‍රඥාවත්, අවබෝධයත් සමඟ එය ප්‍රවාහයක් සේ අප මත වගුළ සේක.</verse>
				<verse number="9">තවද උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ තුළ තමන්වහන්සේ අරමුණු කළ ස්වකීය අභිමතය පරිද්දෙන්, තම කැමැත්ත පිළිබඳ අබිරහස අපට දැනගන්නට සැලසූ සේක.</verse>
				<verse number="10">ඒ සැලැස්ම නිසි කල් පිරි කල ක්‍රියාකාරී වන සේ, ස්වර්ගයේ හා පොළොවේ ඇති සියල්ල ක්‍රිස්තුස්වහන්සේ යටතේ එක්සත් කිරීම ය.</verse>
				<verse number="11">පූර්ව නියමයෙන් ස්වකීය කැමැත්තේ අරමුණට අනුකූලව හැම දේම ක්‍රියා කරවන තැනැන්වහන්සේ, ස්වකීය සැලැස්මට අනුව ක්‍රිස්තුස්වහන්සේ තුළ උරුමක්කරුවන් කොට අප තෝරා ගෙන</verse>
				<verse number="12">ඇත්තේ, ක්‍රිස්තුස්වහන්සේ තුළ මුලින්ම බලාපොරොත්තු තැබූවන් වන අප, උන්වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව උදෙසා සිටින පිණිස ය.</verse>
				<verse number="13">ඔබගේ ගැලවීමේ ශුභාරංචිය වන සත්‍යතාවේ වචනය ඔබ අසා, උන්වහන්සේ අදහාගත් කල, ඔබත් මුද්‍රා තබනු ලැබ ඇත්තේ, පොරොන්දු වූ ශුද්ධාත්මයාණන්ගෙනි.</verse>
				<verse number="14">ඒ ශුද්ධාත්මයාණන්වහන්සේ, දෙවියන්වහන්සේගේ තේජෝ මහිමයේ ප්‍රශංසාව සඳහා, උන්වහන්සේ සන්තකවූවන් වන අපට අපගේ මිදීමේ උරුමය සහතික කරන ඇපකරය වේ.</verse>
				<verse number="15">මේ හේතුව නිසා, යේසුස් ස්වාමින්වහන්සේ තුළ ඇති ඔබගේ ඇදහිල්ලත්, සියලු ශුද්ධවන්තයින් වෙත ඇති ඔබගේ ප්‍රේමයත් ගැන ඇසූ තැන් පටන් මා,</verse>
				<verse number="16">ඔබ උදෙසා නො නැවත ස්තුති දෙමින්, මාගේ යාච්ඤාවන්හිදී ඔබ සිහිකරන්නේ,</verse>
				<verse number="17">යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දෙවියන්වහන්සේ වූ තේජසේ පියාණන්වහන්සේ වඩා හොඳින් දැනගන්නා පිණිස, ප්‍රඥාවේ හා එළිදරවුවේ ආත්මයක් ඔබට ලබා දෙන ලෙසට ය.</verse>
				<verse number="18">තවද ඔබගේ හදවත්-ඇස්, අවබෝධයෙන් එළිය කරන ලෙස ද මම යාච්ඤා කරමි. එසේ කරන්නේ, උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කුමක් ද යන්නත්, ශුද්ධවන්තයින් අතරේ උන්වහන්සේගේ මහිමවත් උරුමයේ ඉසුර කවරේ ද යන්නත්,</verse>
				<verse number="19">අදහන්නා වූ අප උදෙසා දෙවියන්වහන්සේගේ බලයේ සොයා දැනගත නො හැකි විශිෂ්ටත්වය කොතෙක් ද යන්නත් ඔබ දැනගන්නා පිණිස ය. එම බලය, දෙවියන්වහන්සේ තම පරාක්‍රමවත් ශක්තිය ක්‍රියාවේ යොදවමින්,</verse>
				<verse number="20">ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවා, ස්වර්ගීක බලමණ්ඩලයන්හි ස්වකීය දකුණු පස එතුමාණන් හිඳුවමින්, ක්‍රියාත්මක කළ බලයම ය.</verse>
				<verse number="21">මේ වත්මන් යුගයේ පමණක් නො ව, මතු එළඹෙන යුගයේත් සියලු රාජ්‍ය තන්ත්‍ර, බලධාරීන්, බලවේග හා ආධිපත්‍යයන් ද නම් කරන ලද ඕනෑම නාමයකට ද වඩා ක්‍රිස්තුස්වහන්සේ අතිශයින් උත්තරීතර කළ සේක.</verse>
				<verse number="22">තවද සියලු දේම ක්‍රිස්තුස්වහන්සේගේ පාදයන්ට යටත් කළ දෙවියන්වහන්සේ සභාව උදෙසා සියලු දේහි ප්‍රධාන තැනැත්තාණන් ලෙස උන්වහන්සේ නියම කළ සේක.</verse>
				<verse number="23">ඒ සභාව නම්, හැම දෙයක්ම හැම ලෙසින්ම පූර්ණ කරන ක්‍රිස්තුස්වහන්සේගේ පූර්ණත්වය වන උන්වහන්සේගේම ශරීරයයි.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">ඔබගේ අපරාධ හා පාප තුළ ඔබ මැරී සිටි කාලයක් තිබිණි.</verse>
				<verse number="2">එසේ වූයේ, ඔබ මෙලොව සම්මත දිවි රටාව හා අකීකරුකමේ පුත්‍රයින් තුළ දැනුදු ක්‍රියා කරන දුෂ්ටාත්මය වූ ආකාශ රාජධානි අධිපතියාගේ මාර්ග අනුගමන කරමින්, ඒවා තුළ ජීවත් වූ කාලයේ ය.</verse>
				<verse number="3">කලක් අපි සැවොම, අපගේ මාංසික තෘෂ්ණා සන්තර්පණ කරමින් ද ගතේ හා සිතේ ආශාවල ගැලෙමින් ද ඒ අය අතරේ පැවතුණෙමු. මෙසේ සෙසු අය මෙන් අපි ද ස්වභාවයෙන්ම උදහසේ පුත්‍රයින්ව සිටියෙමු.</verse>
				<verse number="4">එහෙත් දයාවෙන් ඉසුරුමත් දෙවියන්වහන්සේ, අපට ප්‍රේම කළ උන්වහන්සේගේ මහා ප්‍රේමය නිසා,</verse>
				<verse number="5">අපගේ අපරාධ තුළ අප මැරී සිටියදී පවා, ක්‍රිස්තුස්වහන්සේ සමඟ අප ජීවනයට පැමිණවූ සේක. ඔබ ගලවනු ලැබ ඇත්තේ, අනුග්‍රහයෙනි.</verse>
				<verse number="6">තවද ක්‍රිස්තුස්වහන්සේ සමඟ අප නැගිට වූ දෙවියන්වහන්සේ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ සමඟ ස්වර්ග බලමණ්ඩලයන්හි අප අසුන් ගැන් වූ සේක.</verse>
				<verse number="7">එසේ කළේ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ අපට පානා උන්වහන්සේගේ කරුණාව පෙන්නුම් කරමින්, මතු පැමිණෙන යුගවලදී උන්වහන්සේගේ අනුග්‍රහයේ අනුපමේය ඉසුරුමත් භාවය විදහා දක්වනු පිණිස ය.</verse>
				<verse number="8">මන්ද ඔබ ගැලවී සිටින්නේ අනුග්‍රහයෙනි; ඇදහිල්ල තුළිනි. ඔබගේ පරිශ්‍රමයෙන් නො වේ. එය දෙවියන්වහන්සේගේ තිළිණයයි.</verse>
				<verse number="9">ගැලවීම, ක්‍රියා මඟින් නො වේ. එබැවින් කිසිවකුටත් ඒ ගැන පාරට්ටු කර ගත නො හේ.</verse>
				<verse number="10">දෙවියන්වහන්සේ විසින් කලින් සූදානම් කරන ලද යහපත්කම් කරන පිණිස, ඒවා තුළ හැසිරෙන පිණිස, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මවන ලද්දවුන් වන අප දෙවියන්වහන්සේගේම හස්ත කර්මාන්ත වේ.</verse>
				<verse number="11">එබැවින්, කලක් ජන්මයෙන් ඔබ අන්‍ය-ජාතිකව සිටියදී, තමන් “චර්මඡේදිත” යයි තමන්ම කියා ගත්තවුන් විසින් “චර්ම-අඡේදිතයින්‍‍‍‍” ලෙස ඔබ හඳුන්වනු ලැබූ අවදිය සිහි කරන්න. (චර්ම-ඡේදනය මිනිස් අතින් මාංසයෙහි කරන ලද දෙයකි)</verse>
				<verse number="12">එකල ඔබ ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන්ව, ඉශ්‍රායෙල් පුරවැසි භාවයට පිටස්තරයින්ව, පොරොන්දුවේ ගිවිසුම්වලට පරදේශිකව, බලාපොරොත්තු රහිතව, දෙවියන්වහන්සේගෙන් තොරව ලෝකයේ සිටි හැටි සිහි කරන්න.</verse>
				<verse number="13">එහෙත් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දැන්! වරක් දුරස්ථව සිටි ඔබ, ක්‍රිස්තුස්වහන්සේගේ ලේවලින් ළං කරනු ලැබ ඇත.</verse>
				<verse number="14">මන්ද අපගේ සාමය උන්වහන්සේම ය; අප දෙගොල්ල එක් කණ්ඩායමක් බවට පත් කළ උන්වහන්සේ හරස් කඩුල්ල වන එදිරිවාදිකමේ මැද බිත්තිය, ස්වකීය මාංසය තුළ බිඳ හෙළුවේ,</verse>
				<verse number="15">ආඥා හා නියෝග රැගත් දහම් නීති අහෝසි කරමිනි. උන්වහන්සේගේ අරමුණ වූයේ මේ දෙගොල්ලගෙන් තමන්වහන්සේ තුළ එක නව මිනිසකු නිර්මාණ කිරීමත්, එසේ සාමය සලසමින්,</verse>
				<verse number="16">තමන් විසින් ප්‍රතිවිරෝධය නසන ලද කුරුසිය මඟින්, මේ දෙගොල්ල ඒ එක් ශරීරය තුළ දෙවියන්වහන්සේ හා සමඟි කිරීමත් ය.</verse>
				<verse number="17">උන්වහන්සේ අවුත් දුර සිටි ඔබට සාමය දේශනා කළ සේක්, ළඟ සිටි අයට ද සාමය දේශනා කළ සේක.</verse>
				<verse number="18">මන්ද එකම ආත්මයාණන් මඟින් පියාණන්වහන්සේ වෙත පිවිසීමේ වරම අප දෙගොල්ලටම ඇත්තේ උන්වහන්සේ තුළිනි.</verse>
				<verse number="19">එබැවින් ඔබ, තවදුරටත් විදේශීන්වත්, පිටස්තරයින්වත් නො වේ. ශුද්ධවන්තයින් සමඟ ඔබත් සමාන පුරවැසියන් ය; දෙවියන්වහන්සේගේම පවුලේ සාමාජිකයින් ය.</verse>
				<verse number="20">ඔබ ගොඩ නගනු ලැබ සිටින්නේ අපෝස්තුලුවරුන් හා දිවැසිවරුන් මත දමන ලද අත්තිවාරම මතය, එහි මූලික කොන් ගල ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ය.</verse>
				<verse number="21">මුළු මහත් ගොඩනැගිල්ල උන්වහන්සේ තුළ එකට සම්බන්ධ කරනු ලැබ, ස්වාමින්වහන්සේ තුළ ශුද්ධ මන්දිරයක්ව ගොඩ නැගේ.</verse>
				<verse number="22">ස්වකීය ආත්මයාණන් මඟින් දෙවියන්වහන්සේ වාසය කරන මන්දිරයක් වන ලෙස, ඔබත් ක්‍රිස්තුස්වහන්සේ තුළ එකට ගොඩ නගනු ලබමින් සිටිති.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">මේ හේතුව නිසා, අන්‍ය-ජාතික වූ ඔබ උදෙසා ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සිරකරුවකු වන පාවුල් නම් මම—</verse>
				<verse number="2">ඔබ උදෙසා මට පවරනු ලැබ ඇති දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ භාරකාරත්වය ගැන ඔබ අසා ඇතැයි සිතමි.</verse>
				<verse number="3">එය නම්, දැනටමත් ලුහුඬින් මා ඔබට ලියා ඇති පරිදි, එළිදරවු කිරීම මඟින් මට දැනගන්නට සලසන ලද අබිරහසයි.</verse>
				<verse number="4">මේ දෑ කියවීමෙන්, ක්‍රිස්තුස්වහන්සේගේ අබිරහස ගැන මට ඇති අවබෝධය ඔබට වටහා ගත හැකි වෙයි.</verse>
				<verse number="5">උන්වහන්සේගේ ශුද්ධ අපෝස්තුලුවරුනට හා දිවැසිවරුනට ආත්මයාණන්වහන්සේ මඟින් දැන් හෙළිකර ඇති ඒ අබිරහස, ඉහත පරම්පරාවල මනුෂ්‍ය-පුත්‍රයින්ට හෙළි කරන ලද්දේ නැත.</verse>
				<verse number="6">ඒ අබිරහස නම්, ශුභාරංචිය මඟින් අන්‍ය-ජාතිකයින් ද ඉශ්‍රායෙල් ජනයා සමඟ සම උරුමකරුවන් බවත්, එකම ශරීරයක සම සාමාජිකයින් බවත්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ වූ පොරොන්දුවට සම කොටස්කරුවන් බවත් ය.</verse>
				<verse number="7">දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ තිළිණය මඟින් උන්වහන්සේගේ බලයේ ක්‍රියා කිරීම තුළින්, මම ඒ ශුභාරංචියේ සේවකයකු කරනු ලැබ සිටිමි.</verse>
				<verse number="8">සියලු ශුද්ධවන්තයින් අතරේ ඉතාම සුළු තැනැත්තා මා වුවත්, මට ඒ අනුග්‍රහය දී ඇත්තේ, තේරුම් ගෙන නිම කළ නො හැකි ක්‍රිස්තුස්වහන්සේගේ ඉසුර අන්‍ය-ජාතිකයිනට ප්‍රකාශ කිරීමටත්,</verse>
				<verse number="9">සෑම සියල්ල මැවූ දෙවියන්වහන්සේ තුළ යුග ගණනාවක් සඟවා තබන ලද මෙම අබිරහසේ සැලැස්ම හැම කෙනකුටම පහදා දීමටත් ය.</verse>
				<verse number="10">උන්වහන්සේගේ අරමුණ නම් දෙවියන්වහන්සේගේ අනේක විධ ප්‍රඥාව, දැන් සභාව මාර්ගයෙන් ස්වර්ගීය බලමණ්ඩලවල පාලකයින්ටත්, අධිපතීන්ටත් දැනගන්නට සැලැස්වීමයි.</verse>
				<verse number="11">එය කරනුයේ අපගේ ස්වාමියාණන් වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ උන්වහන්සේ මුදුන් පැමිණවූ උන්වහන්සේගේම සදාතනික අරමුණට අනුකූලව ය.</verse>
				<verse number="12">ක්‍රිස්තුස්වහන්සේ අදහා ගැනීම මඟින්, නිදහසේ, බිය සැක නැතිව ළඟා වීමට උන්වහන්සේ තුළ අපට පුළුවන.</verse>
				<verse number="13">එබැවින්, ඔබ උදෙසා මා විඳින දුක් ගැහැට ගැන අධෛර්යය නො වන ලෙස මම ඔබෙන් ඉල්ලමි, සැබවින් ම ඒවා ඔබගේ ගෞරවයයි.</verse>
				<verse number="14">මේ හේතුව නිසා පියාණන්වහන්සේ ඉදිරියේ මම දණ නමමි.</verse>
				<verse number="15">ස්වර්ගයේ හා පොළොවේ හැම පවුලක්ම තම නාමය ලබන්නේ උන්වහන්සේගෙනි.</verse>
				<verse number="16">උන්වහන්සේ තම ආත්මයාණන් මඟින් ස්වකීය තේජසේ ඉසුරෙන් ඔබේ ඇතුළාන්ත පුද්ගලයා බලයෙන් සවිමත් කරන ලෙස මම යාච්ඤා කරමි.</verse>
				<verse number="17">එසේ කරන්නේ, ඇදහිල්ල මඟින් ක්‍රිස්තුස්වහන්සේ ඔබේ හදවත්හි වාසය කරන පිණිස ය. තවද ප්‍රේමයෙහි ඔබ මුල් ඇද, ස්ථිරව පිහිටන පිණිසත්,</verse>
				<verse number="18">සියලු ශුද්ධවන්තයින් හා එක්ව ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමයේ දිග හා පළලත්, උස හා ගැඹුරත් කොතෙක් ද කියා ග්‍රහණය කර ගැනීමේ බලය ඔබට ලැබෙන පිණිසත්,</verse>
				<verse number="19">දැනුම ඉක්මවාලන ඒ ප්‍රේමය දැනගැනීමට දෙවියන්වහන්සේගේ සකල පරිපූර්ණත්වයේ මිනුමට ඔබ පූර්ණ කරන පිණිසත් ය.</verse>
				<verse number="20">අප තුළ ක්‍රියා කරන ස්වකීය බලයට අනුව අප ඉල්ලන හෝ අප සිතන හෝ හැම දේටම වඩා බොහෝ වැඩියෙන් ක්‍රියා කිරීමේ අපරිමේය හැකියාවක් ඇති දෙවියන්වහන්සේට,</verse>
				<verse number="21">සභාව තුළත්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මඟින් සියලු පරම්පරාවන්හිදීත් සදහට ම තේජෝ මහිම වේවා. ආමෙන්!</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">එබැවින්, ස්වාමින්වහන්සේ උදෙසා සිරකරුවකු වන මා උදක්ම ඔබෙන් ඉල්ලා සිටින්නේ, ඔබ ලද කැඳවීමට ඔබින අයුරින් ජීවත් වන ලෙසයි.</verse>
				<verse number="2">සපුරාම නිහතමානී වන්න; මොළොක් ගුණයෙන් යුතු වන්න; ප්‍රේමයෙන් එකිනෙකා දරා ගනිමින්, ඉවසිලිමත් වන්න.</verse>
				<verse number="3">ආත්මයාණන්වහන්සේගේ එක්සත්කම, සාමයේ බැම්මෙන් බැඳී පවත්වාගෙන යෑමට හැම උත්සාහයක්ම දරන්න.</verse>
				<verse number="4">ඔබ කැඳවනු ලැබූ කල, කැඳවුම් ලද්දේ එකම බලාපොරොත්තුවකට සේ ම, ඇත්තේ එකම ශරීරය ය; එකම ආත්මයාණෝ ය;</verse>
				<verse number="5">එකම ස්වාමින්වහන්සේ ය; එකම ඇදහිල්ල ය; එකම බව්තීස්මය ය;</verse>
				<verse number="6">සියල්ලන්ටම ඉහළින් සිටින, සියල්ලන්ටම බලපවත්වන, සියල්ලන් තුළ සිටින හැමගේම එකම පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ය.</verse>
				<verse number="7">එහෙත්, අප එකිනෙකාට අනුග්‍රහය බෙදා දී ඇත්තේ ක්‍රිස්තුස්වහන්සේගේ දීමනාවේ ප්‍රමාණයට අනුව ය.</verse>
				<verse number="8">ඒ ගැන මෙසේ කියවෙයි: “උන්වහන්සේ උසස් ස්ථානයට නැගුණු කල, වහල්කමට අල්ලාගත් සමූහයක් ගෙන ගිය සේක; උන්වහන්සේ මිනිසුනට තෑගි දුන් සේක.”</verse>
				<verse number="9">“උන්වහන්සේ නැගුණු” යන්නෙන් අදහස් වන්නේ, උන්වහන්සේ පොළොවේ පහත්ම පෙදෙස්වලට බැස්ස බවක් මිස අන් කුමක් ද?</verse>
				<verse number="10">මුළු විශ්වයම පූර්ණ කරන පිණිස සමස්ත ස්වර්ගයන්ට ද වඩා ඉහළ නැගුණ තැනැත්තාණෝ පෙර කී පහළ බැස්ස තැනැත්තාණන්ම ය.</verse>
				<verse number="11">ඇතමුන් අපෝස්තුලුවරුන් ද ඇතමුන් දිවැසිවරුන් ද ඇතමුන් ශුභාරංචි දේශකයින් ද ඇතමුන් සභා පාලකයින් හා ගුරුවරුන් ද ලෙස දී ඇත්තේ උන්වහන්සේම ය.</verse>
				<verse number="12">ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය ගොඩ නැගෙන පිණිස සේවා-කටයුතු සඳහා ශුද්ධවන්තයින් හැඩගස්වනු පිණිස එසේ දී ඇත්තේ,</verse>
				<verse number="13">ඇදහිල්ලේත්, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් දැන ගැනීමේත් එකමුතුකමට අප සැවොම ළඟා වන තෙක් හා ක්‍රිස්තුස්වහන්සේගේ පරිපූර්ණත්වය, අංග සම්පූර්ණවම අත්කර ගනිමින්, අප හැම එම පරිණත භාවයට පත් වන තෙක් ය.</verse>
				<verse number="14">එසේ වූ කල, අප තවදුරටත් මිනිසුන්ගේ කූට උපා මාර්ගවල කපටකම් හා ප්‍රයෝගවලින් ද සකල බොරු ඉගැන්වීම් නැමති සුළඟින් ද ඒ මේ අත ගසාගෙන යන, රළ රැළිවලින් ඈත මෑත විසිවන බාලයින් මෙන් නො වනු ඇත.</verse>
				<verse number="15">ඒ වෙනුවට අපි ප්‍රේමයෙන් යුතුව, සත්‍යය පවසමින්, ශරීරයේ හිස වන ක්‍රිස්තුස්වහන්සේ තුළට සැමතින්ම වැඩෙන්නෙමු.</verse>
				<verse number="16">මෙසේ, හැම ශරීරාංගයක්ම නිසියාකාරව ක්‍රියා කරමින්, මුළු ශරීරයේ හැම සම්පාදිත අවයවයක්ම අස්ථි සන්ධියකින් එක්සන්ධි වී පැවත, ප්‍රේමයෙන් වැඩෙමින්, ස්වයංව ගොඩ නැගෙයි,</verse>
				<verse number="17">එබැවින් මා ඔබට කියන්නේත්, ස්වාමින්වහන්සේ තුළ තරයේම ඔබෙන් ඉල්ලන්නේත්, තවදුරටත් අන්‍ය-ජාතීන් මෙන් තම නිස්සාර කල්පනා අනුව ජීවිතය ගත නො කරන ලෙසයි.</verse>
				<verse number="18">තම හදවත්වල දැඩිකම නිසා, අනාවබෝධය හේතුවෙන්, ඔවුහු සිටින්නේ තම වැටහීම අඳුරු කරගෙන, දෙවියන්වහන්සේගේ ජීවනයෙන් ද වෙන්ව ය.</verse>
				<verse number="19">ඔවුහු සියලු සංවේදිතා අහිමිව, අනාචාරයට තමන්ම බාර වී, සකල විධ අපවිත්‍රතාහි ගැලෙන්නට තෘෂ්ණා වී සිටිති.</verse>
				<verse number="20">එහෙත් ඔබ, ක්‍රිස්තුස්වහන්සේ දැන-උගත්තේ එලෙසින් නො වේ.</verse>
				<verse number="21">සැබවින් ම ඔබ උන්වහන්සේ ගැන ඇසුවේත්, උන්වහන්සේ තුළ ඔබට උගන්වනු ලැබුවේත් යේසුස්වහන්සේ තුළ වූ සත්‍යතාවට අනුකූලව ය.</verse>
				<verse number="22">ඔබගේ පැරණි ජීවන රටාව සම්බන්ධයෙන් ඔබට උගන්වනු ලැබ ඇත්තේ, මායාකාරී තෘෂ්ණාවන්ගෙන් දූෂිත ඔබගේ පැරණි මනුෂ්‍යයා ඉවතලීමටත්,</verse>
				<verse number="23">ඔබගේ සිත්හි ආකල්ප අලුත් කර ගැනීමටත්,</verse>
				<verse number="24">සැබෑ ධර්මිෂ්ඨත්වයෙන් හා ශුද්ධත්වයෙන් දෙවියන්වහන්සේ හා සමාන වන ලෙස මවන ලද අලුත් මනුෂ්‍යයා පැලඳ ගැනීමටත් ය.</verse>
				<verse number="25">එබැවින් ඔබ හැම බොරුව අත්හැර, තම අසල්වැසියා සමඟ සත්‍යවාදීව කතා කළ යුතු ය. මන්ද අප එකිනෙකා අන්‍යෝන්‍ය අවයවයන් ය.</verse>
				<verse number="26">කෝප වූවත් පව් නො කරන්න: ඔබ කෝපයෙන් සිටියදී හිරු බැස යන්නට ඉඩ නො දෙන්න.</verse>
				<verse number="27">තවද යක්ෂයාට කිසිදු ඉඩක් නො දෙන්න.</verse>
				<verse number="28">සොරකමේ යෙදුන අය මින් මතු සොරකම් නො කළ යුතු ය. ඒ වෙනුවට, අවැසිතා ඇත්තවුනට උදවු දීමට තමනටත් කිසිවක් තිබෙන පිණිස, තම දෑතින්ම පලදායි කාරියක යෙදෙමින් වෙහෙසී වැඩ කළ යුතු ය.</verse>
				<verse number="29">ඔබේ මුවින් කැත කතා පිටවීමට ඉඩ නො දෙන්න. ඒ වෙනුවට අසන අයට සෙත සැලසෙන, තැනට උචිත, අන්‍යයන්ගේ වර්ධනයට තුඩු දෙන කතාවෙන් යුතු වන්න.</verse>
				<verse number="30">දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්ට දුක් නො දෙන්න. ඔබගේ මිදීම සම්පූර්ණ වන දවස දක්වා ඔබ මුද්‍රා තබා ඇත්තේ උන්වහන්සේගෙනි.</verse>
				<verse number="31">සියලු අමනාප ද ක්‍රෝධය හා කෝපය ද උද්ඝෝෂණ හා අපවාද ද හැම අයුරු ද්වේෂ ද ඉවත දමන්න.</verse>
				<verse number="32">ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ ඔබට කමා වූ අයුරින්, ඔබත් එකිනෙකාට කමා කරමින්, එකිනෙකාට කරුණාවෙන් හා දයානුකම්පාවෙන් සලකන්න.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">එබැවින් අති ප්‍රේමණීය දරුවන් සේ දෙවියන්වහන්සේ අනුකරණ කරන්නන් වන්න.</verse>
				<verse number="2">දෙවියන්වහන්සේට මිහිරි සුවඳක් හා යාගයක්ව අප උදෙසා තමන්ම පරිත්‍යාග වෙමින්, ක්‍රිස්තුස්වහන්සේ අපට ප්‍රේම කළ සේ ප්‍රේමයේ ජීවිතයක් ගත කරන්න.</verse>
				<verse number="3">ලිංගික අනාචාරකම් හෝ කවර දුරාචාරයක් හෝ තණ්හාවක් හෝ පිළිබඳ සඳහනකුදු ඔබ අතරේ නො විය යුතු ය. ශුද්ධවන්තයින්ට ඒවා නොහොබනා ය.</verse>
				<verse number="4">තවද අසභ්‍ය, අමන කතා හෝ අශ්ලීල කවටකම් ද ඔබ අතරේ නො විය යුතු ය. ඒවා සුදුසු නැත. ඒ වෙනුවට ස්තුති දීම් පවසන්න.</verse>
				<verse number="5">මේ වග නිසැකව දැනගන්න! අනාචාරකම් කරන්නකුට, දුරාචාරයේ යෙදෙන්නකුට, තණ්හාව නැමති රූප අදහන්නකුට ක්‍රිස්තුස්වහන්සේගේ හා දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ කිසි උරුමයක් නැත.</verse>
				<verse number="6">පුහු තර්කවලින් ඔබ රවටන්නට කිසිවකුටත් ඉඩ නො දෙන්න. මන්ද ඒවා හේතු කොට අකීකරුවන්නන් පිට දෙවියන්වහන්සේගේ උදහස පැමිණේ.</verse>
				<verse number="7">එබැවින් එවැන්නවුන් හා හවුල් නො වන්න.</verse>
				<verse number="8">වරක් ඔබ අන්ධකාරයව සිටි නමුදු දැන් ඔබ ස්වාමින්වහන්සේ තුළ ආලෝකය ය. එබැවින්, ආලෝකයේ දරුවන් සේ ජීවත් වෙමින්,</verse>
				<verse number="9">(ආලෝකයේ පලවලට හැම අයුරකම යහපත, ධර්මිෂ්ඨකම හා සත්‍යය ඇතුළත් ය.)</verse>
				<verse number="10">ස්වාමින්වහන්සේ ප්‍රිය මනාප දෑ කවරේදැයි සොයා දැනගන්න.</verse>
				<verse number="11">අන්ධකාරයේ වඳ ක්‍රියා හා සම්බන්ධ නො වී, ඒවා එළිදරවු කරන්න.</verse>
				<verse number="12">මන්ද ඔවුන් රහසේ කරන දෑ කීම පවා ලජ්ජා සහගත ය.</verse>
				<verse number="13">එහෙත් ආලෝකයෙන් එළි කරන හැම දෙයක්ම පෙනෙන්නට වෙයි.</verse>
				<verse number="14">මන්ද පෙනෙන්නට සලස්වන හැම දෙයක්ම ආලෝකයයි. මෙසේ කියා ඇත්තේ එබැවිනි: “එම්බා නිදාසිටින්නාණනි, අවදි වන්න. මළවුන්ගෙන් නැගිට සිටින්න. එවිට, ක්‍රිස්තුස්වහන්සේ ඔබ මත්තෙහි බබළනු ඇත.”</verse>
				<verse number="15">එබැවින්, ඔබ ජීවත් වන අයුර ගැන වඩාත් සැලකිලිමත් වන්න. අනුවණ ලෙස නො ව, නුවණ ඇත්තන් සේ කටයුතු කරමින්,</verse>
				<verse number="16">හැම අවස්ථාවකින්ම හැකි තරම් ප්‍රයෝජන ගන්න. මන්ද, මේ දවස් නපුරු ය.</verse>
				<verse number="17">එනිසා අනුවණ නො වී, ස්වාමින්වහන්සේගේ කැමැත්ත කවරේදැයි වටහා ගන්න.</verse>
				<verse number="18">මිදි යුෂ බී, මත් නො වන්න. එයින් දුරාචාරයට මං පෑදේ. ඒ වෙනුවට ආත්මයාණන්වහන්සේගෙන් පූර්ණ වන්න.</verse>
				<verse number="19">කාව්‍යයෙන් ද ගීතිකාවලින් ද ආත්මික ගීයෙන් ද එකිනෙකා අමතන්න. ඔබේ හදවතින් ස්වාමින්වහන්සේට සංගීත නගමින්, ගී ගයන්න.</verse>
				<verse number="20">හැම දෙයක් ගැන, හැම විට යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ නාමයෙන් පියාණන් වූ දෙවියන්වහන්සේට තුති පුදන්න.</verse>
				<verse number="21">ක්‍රිස්තුස්වහන්සේ වෙත ඇති ගෞරවයෙන් එකිනෙකාට යටත් වන්න.</verse>
				<verse number="22">භාර්යාවනි, ස්වාමින්වහන්සේට යටත් වන සේ ඔබේ පුරුෂයනට යටත් වන්න.</verse>
				<verse number="23">මන්ද ස්වකීය ශරීරය වූ සභාවේ ගැලවුම්කරු වන ක්‍රිස්තුස්වහන්සේ එහි හිස වන්නා සේ ම, පුරුෂයා භාර්යාවගේ හිස ය.</verse>
				<verse number="24">මෙසේ සභාව ක්‍රිස්තුස්වහන්සේට යටත් වන්නා සේ, භාර්යාවන් ද හැම කරුණකදී තම පුරුෂයනට යටත් විය යුතු ය.</verse>
				<verse number="25">පුරුෂයිනි, ක්‍රිස්තුස්වහන්සේ සභාවට ප්‍රේම කොට, ඇය උදෙසා තමන්ම පූජා වූ සේ ඔබත්, ඔබගේ භාර්යාවනට ප්‍රේම කරන්න.</verse>
				<verse number="26">උන්වහන්සේ එසේ කළේ, වචනය මඟින් ජලයෙන් සේදීමෙන් ඇය පවිත්‍ර කර, ශුද්ධවත් කිරීමටත්,</verse>
				<verse number="27">පැල්ලමක්, රැළි වැටීමක් හෝ අන් කැළලක් නැති ශුද්ධ වූ, නො කැළැල් තේජවත් සභාවක්ව තමන්ටම ඇය පිළිගන්වා ගැනීමටත් ය.</verse>
				<verse number="28">එලෙස පුරුෂයන්, තම සිරුරට ප්‍රේම කරන්නා සේ තම භාර්යාවනට ප්‍රේම කළ යුතු ය. තම භාර්යාවට ප්‍රේම කරන්නා තමාටම ප්‍රේම කරයි.</verse>
				<verse number="29">කිසිවෙක් කිසි කලෙක තම සිරුරට ද්වේෂ කර නැත. ක්‍රිස්තුස්වහන්සේ සභාවට කරන්නා සේ ඔහු කරන්නේ එය පෝෂ්‍ය කිරීමයි; රැක බලා ගැනීමයි.</verse>
				<verse number="30">මන්ද උන්වහන්සේගේ සිරුරේ අවයව අප ය.</verse>
				<verse number="31">මෙනිසා “පුරුෂයෙක් තම පියා හා මව අතැර තම භාර්යාවට බැඳෙයි. ඔවුහු එක මාංසයක් වෙති.”</verse>
				<verse number="32">මෙය ගැඹුරු අබිරහසකි. එහෙත් මෙහිදී මා කතා කරන්නේ, ක්‍රිස්තුස්වහන්සේ හා සභාව ගැනයි.</verse>
				<verse number="33">කෙසේ වුව ඔබ හැම කෙනෙක්ම තම භාර්යාවට ප්‍රේම කළ යුත්තේ, තමාටම ප්‍රේම කරන පරිද්දෙනි. භාර්යාව තම පුරුෂයාට ගරු සැලකිලි දැක්විය යුතු ය.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">දරුවනි, ස්වාමින්වහන්සේ තුළ ඔබේ දෙමාපියනට කීකරු වන්න; හරි දේ එයයි.</verse>
				<verse number="2">“ඔබේ පියාටත්, මවටත් ගෞරව කරන්න” යන්න පොරොන්දුවක් රැගත් පළමු ආඥාවයි.</verse>
				<verse number="3">“එයින් ඔබට සෙත සැලසේ; මිහි පිට දිගු කල් ජීවත් වන්නට ලැබේ.”</verse>
				<verse number="4">පියවරුනි, ඔබේ දරුවන් කුපිත නො කරන්න. ඒ වෙනුවට ස්වාමින්වහන්සේ අනුමත විනයෙන් හා උපදෙසින් ඔවුන් හැඩගස්වන්න.</verse>
				<verse number="5">දාසයිනි, ක්‍රිස්තුස්වහන්සේට ඔබ කීකරු වන්නා සේ, ගරුත්වයෙන්, බයින් හා අවංක හදින් මෙලොව ඔබේ හාම්පුතුනට කීකරු වන්න.</verse>
				<verse number="6">ඔවුන් ඔබ දෙස බලා සිටියදී ඔවුන්ගේ ප්‍රසාදය දිනන පිණිස නො ව, ඔබේ හදවතින් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරමින්, ක්‍රිස්තුස්වහන්සේගේ දාසයින් ලෙස ඔවුනට කීකරු වන්න.</verse>
				<verse number="7">මිනිසුන්ට නො ව, ස්වාමින්වහන්සේට කරන සේවයක් සේ, ඔබේ මුළු හදින්ම මෙහෙ කරන්න.</verse>
				<verse number="8">දාසයකු හෝ නිවහල් කෙනකු හෝ යන කවරකු වුවත් කරන හැම හොඳ වැඩකටම, ස්වාමින්වහන්සේ ප්‍රතිවිපාක දෙන බව ඔබ දනී.</verse>
				<verse number="9">හාම්පුතුනි, ඔබත්, ඔබේ දාස දාසීනට එපරිද්දෙන් සලකන්න. ඔවුන්ට තර්ජනය නො කරන්න. මන්ද, ඔවුන්ගේ ද ඔබගේ ද ස්වාමියාණන් ස්වර්ගයේ සිටින බැව් ඔබ දනී. උන්වහන්සේ මිනිසුන්ගේ තරාතිරම් නො තකන සේක.</verse>
				<verse number="10">අවසන් වශයෙන්, ස්වාමින්වහන්සේ තුළ ද උන්වහන්සේගේ පරාක්‍රමවත් බලයෙහි ද බලවත් වන්න.</verse>
				<verse number="11">යක්ෂයාගේ උපාය මාර්ගවලට එරෙහිව නැගී සිටිනු හැකි වන පිණිස, දෙවියන්වහන්සේගේ සම්පූර්ණ සන්නාහයෙන් සන්නද්ධ වන්න.</verse>
				<verse number="12">මන්ද අපගේ සටන ලෙයින්-මසින් යුතු මිනිස් සතුරනට එරෙහිව නො වේ. පාලන-බලවේගයනට එරෙහිව ය; අධිපතීන්ට එරෙහිව ය; මේ අන්ධකාර ලෝක බලවේගයනට එරෙහිව ය. ආකාශ බලමණ්ඩල දුෂ්ටාත්ම සේනාවන්ට එරෙහිව ය.</verse>
				<verse number="13">එබැවින්, නපුරු දවස පැමිණි කල, ඊට විරුද්ධව, ඔබගේ තැන පිහිටා සිටිනු හැකි වනු පිණිස, කළ හැකි සියල්ල කළ පසු නො සැලී සිටගත හැකි වන පිණිස දෙවියන්වහන්සේගේ සම්පූර්ණ සන්නාහයෙන් සන්නද්ධ වන්න.</verse>
				<verse number="14">එබැවින්, සත්‍යයේ ඉඟ පටිය ඉඟ බැඳ, ධර්මිෂ්ඨකමේ ළය වැස්ම පැලඳ,</verse>
				<verse number="15">සාමයේ සුබ අස්නට සූදානම් වහන් පය ලා ස්ථාවරව සිටගන්න.</verse>
				<verse number="16">ඒ සියල්ලට අමතරව ඇදහිල්ලේ පලිහ අතට ගන්න. නපුරාගේ සියලු ගිනිමය හී නිවා, මැඩලන්නට ඉන් ඔබට හැකි වෙයි.</verse>
				<verse number="17">ගැලවීම නැමති ආරක්ෂක තොප්පිය ද දේව වචනය නැමති ආත්මයාණන්වහන්සේගේ අසිපත ද ගන්න.</verse>
				<verse number="18">තවද හැම විට, හැම විදියකම යාච්ඤා හා ඉල්ලීම් සමඟ ආත්මයාණන්වහන්සේ තුළ යාච්ඤාවෙහි යෙදෙන්න. මෙය සිත්හි තබාගෙන, සුපරීක්ෂාකාරීව සිටිමින් සියලු ශුද්ධවතුන් උදෙසා නිරතුරුව යාච්ඤා කරන්න.</verse>
				<verse number="19">මා මුව විවර කරන හැම විටෙක ශුභාරංචි අබිරහස අභීතව ප්‍රකාශ කරන්නට නිසි වචන පැවසීමට වර ලැබෙනු පිණිස, මා ගැනත් යාච්ඤා කරන්න.</verse>
				<verse number="20">මන්ද මම ශුභාරංචියේ තානාපතියෙක්මි. මා සිර-බැඳුම් ලැබ සිටින්නේ එනිසාවෙනි. කළ යුතු ලෙස අභීතව මට ඒ ශුභාරංචිය ප්‍රකාශ කරනු හැකි වන පිණිස යාච්ඤා කරන්න.</verse>
				<verse number="21">ස්වාමින්වහන්සේ තුළ විශ්වාසවන්ත දේව-සේවක අප ප්‍රේමණීය සොයුරු තුකිකස් සියලු තොරතුරු ඔබට පවසනු ඇත. එවිට මාගේ තතු කෙසේ ද, මා කරන්නේ කවරේ ද යන්න ගැන ඔබටත් දැනගත හැකි වනු ඇත.</verse>
				<verse number="22">මා ඔහු ඔබ වෙත එවන්නේ අප ගැන තොරතුරු ඔබට දැන ගන්නටත්, ඔහු මඟින් ඔබ ධෛර්යවත් කරන්නටත් යන අරමුණින් ය.</verse>
				<verse number="23">පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේගෙන් ද යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගෙන් ද සාමයත්, ඇදහිල්ල සමඟ ප්‍රේමයත් සහෝදරයින්ට අත් වේවා!</verse>
				<verse number="24">යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේට නොමියෙන පෙමින් ප්‍රේම කරන සැමට අනුග්‍රහය වේවා!</verse>
			</chapter>
		</book>
		<book number="50">
			<chapter number="1">
				<verse number="1">ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයින් වන පාවුල් හා තිමෝති වෙතින්, පිලිප්පියෙහි සභා නායකයින් සහ උපස්ථායකයින් ඇතුළු ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සියලු ශුද්ධවන්තයින් වෙතයි.</verse>
				<verse number="2">අපගේ පියාණන් වූ දෙවියන්වහන්සේගෙන් හා යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගෙන් ඔබට අනුග්‍රහයත්, සාමයත් වේවා!</verse>
				<verse number="3">ඔබ සිහි වන හැම විට මාගේ දෙවියන්වහන්සේට මම ස්තුති කරමි.</verse>
				<verse number="4">ඔබ හැම උදෙසා මගේ හැම යාච්ඤාවකදී හැම විට මා යාච්ඤා කරන්නේ ප්‍රීතියෙනි.</verse>
				<verse number="5">පළමු දවසේ පටන් අද දක්වා ශුභාරංචියට ඇති ඔබේ සහභාගිත්වය ඊට හේතුවයි.</verse>
				<verse number="6">ඔබ තුළ යහපත් කාර්යයකට මුලපිරූ තැනැන්වහන්සේ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දවස දක්වා එය සම්පූර්ණ කරන වග ඒකාන්තයෙන් මම විශ්වාස කරගෙන සිටිමි.</verse>
				<verse number="7">මා සිර-බැඳුම් ලැබ සිටියදීත්, ශුභාරංචිය ගැන වග උත්තර කියද්දීත්, එහි සත්‍යතාව සහතික කරද්දීත් දෙවියන්වහන්සේගෙන් මා ලද අනුග්‍රහයට මා හා පංගුකාර වූ ඔබ හැම, මා හදෙහි දරා සිටින බැවින්, ඔබ හැම ගැන මා එසේ සිතීම යුතු ය.</verse>
				<verse number="8">ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේම සෙනෙහසින් යුතුව ඔබ හැමට මා කෙතරම් ආශා වෙම් ද යන්න දෙවියන්වහන්සේම සාක්ෂි වන සේක.</verse>
				<verse number="9">මාගේ යාච්‍ඤාව මෙයයි: දැනගැන්මෙන් හා විනිවිද දක්නා මුළු නුවණින් ඔබගේ ප්‍රේමය වඩ වඩා වැඩේවා!</verse>
				<verse number="10">ඒ, වඩා උතුම් දේ කවරේදැයි වටහා ගැනීමට ඔබට හැකි වන පිණිස ය. එවිට ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා පවිත්‍රව, නො කැළැල්ව සිටිමින්,</verse>
				<verse number="11">දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය හා ප්‍රශංසාව උදෙසා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් පැමිණෙන ධර්මිෂ්ඨකමේ පලයෙන් ඔබ සපිරෙනු ඇත.</verse>
				<verse number="12">සහෝදරයිනි, මට විඳින්නට සිදු වූ හැම දෙයක්ම ශුභාරංචියේ වර්ධනයට ඉවහල් වී ඇති වග ඔබට දන්වනු කැමැත්තෙමි.</verse>
				<verse number="13">මෙසේ මා සිර-බැඳුම් ලැබ සිටින්නේ ක්‍රිස්තුස්වහන්සේ උදෙසා බව රාජකීය මුර සෙබළුන්ටත්, අන් හැමටත් පැහැදිලි වී ඇත.</verse>
				<verse number="14">අප සහෝදරයින් වැඩි දෙනෙක්, මාගේ මේ සිර-බැඳුම් නිසා දෙවියන්වහන්සේගේ වචනය වඩාත් එඩිතරව, අභීතව කතා කරන්නට ස්වාමින්වහන්සේ තුළ ධෛර්යය ලැබ සිටිති.</verse>
				<verse number="15">ඇතමකු ඊර්ෂ්‍යාවෙන් ද තරඟයට ද සෙසු අය හොඳ අදහසින් ද ක්‍රිස්තුස්වහන්සේ දේශනා කරන වග සැබෑවකි.</verse>
				<verse number="16">පසුව කී අය එසේ කරන්නේ, මෙසේ මා සිරගතව සිටින්නේ ශුභාරංචිය ගැන වග උත්තර කියන්නට බව දැන, ප්‍රේමයෙනි.</verse>
				<verse number="17">එහෙත් පළමු කී අය ක්‍රිස්තුස්වහන්සේ දේශනා කරන්නේ, මාගේ මේ සිර-බැඳුම් වඩාත් කරදරකාරී කිරීමේ අදහසින්, ආත්මාර්ථකාමී අභිලාශයෙනි; අවංකව නො වේ.</verse>
				<verse number="18">ඊට කමක් නැත; වැදගත් වන්නේ හැම අයුරකින්ම, වංක අරමුණින් වේවා, අවංක අරමුණින් වේවා ක්‍රිස්තුස්වහන්සේ දේශනා කරනු ලැබීමයි. මම ඒ ගැන ප්‍රීති වෙමි. ඔව්, මතු මතුත් ප්‍රීති වන්නෙමි.</verse>
				<verse number="19">මන්ද ඔබගේ යාච්ඤා ද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන් දෙන ලද උපකාර ද නිසා, ඒ දෑ මගේ නිදහසට හේතු වන බැව් මා දන්නා බැවිනි.</verse>
				<verse number="20">මාගේ ජීවත් වීමෙන් වේවා, මරණයෙන් වේවා අන් හැම විට මෙන් දැනුත්, මාගේ ශරීරයෙන් ක්‍රිස්තුස්වහන්සේ ගෞරවයට පමුණුවන පිණිස, කිසි සේත් ලජ්ජාවට පත්වීමේ හේතුවක් නො වී, හැම අයුරින්ම එඩිතරව සිටීම මාගේ දැඩි අපේක්ෂාවත්, බලාපොරොත්තුවත් ය.</verse>
				<verse number="21">මට, ජීවත්වීම ක්‍රිස්තුස්වහන්සේ ය. මරණය මට ලාභයකි.</verse>
				<verse number="22">තවදුරටත් මේ ශරීරයේ මගේ විසීම පලදායි සේවයකට හේතුවනු ඇත. එහෙත් මා තෝරා ගත යුත්තේ කුමක් ද? මා දන්නේ නැත.</verse>
				<verse number="23">ඒ දෙක අතර දෙපැත්තට අදිනු ලබමි: මාගේ ආශාව මේ ජීවිතයෙන් ඉවත් වී, ක්‍රිස්තුස්වහන්සේ සමඟ සිටීම ය. මන්ද එය බෙහෙවින්ම හොඳ ය.</verse>
				<verse number="24">එහෙත් ඔබ උදෙසා වැඩි අවශ්‍යතාව, මේ ශරීරයේ මාගේ රැඳී සිටීමයි.</verse>
				<verse number="25">ඒ වග මට සහතික බැවින් මේ ජීවිතයේම රැඳෙමින්, ඔබගේ ඇදහිල්ලේ වර්ධනයත්, ප්‍රීතියත් උදෙසා මා ඔබ හැම අතර දිගටම කටයුතු කරන වග මම දනිමි.</verse>
				<verse number="26">මෙසේ, යළිත් මා ඔබ අතරට පැමිණීමෙන්, මා නිසා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ වඩා උදම් ඇනීමට හේතුවක් ඔබට ලැබේ.</verse>
				<verse number="27">කුමක් වෙතත්, ඔබගේ ජීවන රටාව ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට ඔබින අයුරින් හසුරුවා ගන්න. එවිට මා අවුත්, ඔබ හමුවෙතත්, නෑවිත් ඔබ ගැන තොරතුරු අසනවා පමණක් වුවත්, ඔබ එකම ආත්මයෙන් තිරසරව සිටින බවත්, ශුභාරංචියේ ඇදහිල්ල උදෙසා එකාවන්ව සටන් වදින බවත්,</verse>
				<verse number="28">විරුද්ධවාදීන් හමුවේ හැම අයුරින්ම අභීතව සිටින බවත් දැන ගන්නෙමි. ඔබගේ අභීත භාවය ඒ විරුද්ධවාදීනට ඔවුන්ගේ විනාශයත්, ඔබගේ ගැලවීමත් පිළිබඳව දෙවියන්වහන්සේගෙන් වූ නිසැක ලකුණකි.</verse>
				<verse number="29">මන්ද ක්‍රිස්තුස්වහන්සේ උදෙසා උන්වහන්සේ අදහාගැනීමේ පමණක් නො ව, උන්වහන්සේ උදෙසා දුක් විඳීමේ වරප්‍රසාදයත් ඔබට ප්‍රදාන කරනු ලැබ ඇත.</verse>
				<verse number="30">මෙසේ, කලින් මා සටන් වැද සිටිනු ඔබ දුටු අරගලයෙහි දැන් ඔබත් යෙදී සිටිති. ඔබට අසන්නට ලැබෙන පරිදි තවමත් මම එහිම යෙදී සිටිමි.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">ක්‍රිස්තුස්වහන්සේ හා එක්වීමෙන් ඔබ යම් අනුබලයක් ලැබ ඇත්නම්, උන්වහන්සේගේ ප්‍රේමයෙන් යම් සැනසීමක් ලැබ ඇත්නම්, ආත්මයාණන්වහන්සේ සමඟ යම් සහභාගිත්වයක් ඇත්නම්, යම් දයාවක් හා අනුකම්පාවක් ඇත්නම්,</verse>
				<verse number="2">ඔබ එකිනෙකා සමඟ එක්සිත්ව, එක පෙමින් යුතුව, එකාවන්ව, එක අරමුණින් කටයුතු කිරීමෙන්, මාගේ ප්‍රීතිය සම්පූර්ණ කරන්න.</verse>
				<verse number="3">ආත්මාර්ථයෙන් හා පුහු මානයෙන් කිසිවක් නො කරන්න. නිහතමානීව, තමනට වඩා අන් අය, උතුම් කොට සලකන්න.</verse>
				<verse number="4">ඔබ හැම කෙනකුම තම තමාගේ කාරිය පමණක් නො ව, අන් අයගේ කාර්යයන් ද සොයා බැලිය යුතු ය.</verse>
				<verse number="5">ඔබගේ ආකල්පය විය යුත්තේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේම සිතේ ආකල්පයයි:</verse>
				<verse number="6">උන්වහන්සේ දෙවියන්වහන්සේගේ ස්වරූපය දැරූ සේක්, දෙවියන්වහන්සේ හා සමව සිටීම, තදින් අල්ලාගන සිටිය යුතු දෙයකැයි නො සලකමින්,</verse>
				<verse number="7">එය ඉවත ලා, දාසයකුගේ ස්වභාව ගෙන, මිනිසකුගේ සමානත්වයට පැමිණි සේක.</verse>
				<verse number="8">මෙසේ, හුදු මිනිසකුගේ ස්වරූපයෙන් සිටිමින්, තුමූම යටහත්ව, මරණය දක්වාත්, එනම් කුරුසියේ මරණය දක්වාත්, කීකරු වූ සේක.</verse>
				<verse number="9">එබැවින් දෙවියන්වහන්සේ ඉහළම තත්වයට උන්වහන්සේ උසස් කර, සියලු නාමයන්ට වඩා අග්‍ර වූ නාමය උන්වහන්සේට දුන් සේක.</verse>
				<verse number="10">එසේ කළේ, ස්වර්ගය තුළ ද පොළොව පිට ද පොළොවෙන් යට ද සියල්ලන්, යේසුස් යන නාමයට දණ නැමිය යුතු වන පිණිසත්,</verse>
				<verse number="11">පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය උදෙසා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, ස්වාමින්වහන්සේ ය කියා හැම දිවකින් පැවසිය යුතු වන පිණිසත් ය.</verse>
				<verse number="12">එබැවින්, හැම විට ඔබ කීකරුව සිටි සේ, මා ප්‍රේමණීයයනි, මා ඔබ හා සිටියදී පමණක් නො ව, දැන් මා ඔබ වෙතින් ඈත්ව සිටියදී වඩා කීකරුව, බයින් හා වෙවුලුමෙන් යුතුව ඔබගේ ගැලවීම ක්‍රියාවට නගන්න.</verse>
				<verse number="13">මන්ද තමන්වහන්සේගේ යහපත් අරමුණු ඉටු කරන්නට කැමති වීම හා එසේ කිරීම සඳහා ඔබ තුළ ක්‍රියා කරන්නේ දෙවියන්වහන්සේ ය.</verse>
				<verse number="14">කරන හැම දෙයක්, මැසිවිලි කීමෙන් හෝ වාද කිරීමෙන් තොරව කරන්න.</verse>
				<verse number="15">එසේ කළ යුත්තේ වංක වූ, දූෂිත වූ මිනිස් පරපුරක් මැද ජීවනයේ වචනය ඔබ තරකොට අල්ලා ගනිමින්, ලෝකයේ දිදුලන තරු විලස ඔබ නිර්දෝෂීව හා පවිත්‍රව දෙවියන්වහන්සේගේ නො කැළැල් දරුවන් වන පිණිස ය.</verse>
				<verse number="16">මෙසේ, මාගේ දිවීම හෝ මා දැරූ වෙහෙස නිෂ්ඵල නො වීය කියා ක්‍රිස්තුස්වහන්සේගේ දවසේදී මට උදම් ඇනිය හැකි වනු ඇත.</verse>
				<verse number="17">එහෙත්, ඔබගේ ඇදහිල්ලේ පූජාවත්, මෙහෙයයත් පිට මගේ ජීවය පාන පූජාවක් සේ වගුරුවනු ලබන්නේ වුව, මම සතුටු වෙමි; ඔබ හැම සමඟ ප්‍රීති වෙමි.</verse>
				<verse number="18">එලෙසම ඔබත් මා සමඟ සතුටු විය යුතු ය; ප්‍රීති විය යුතු ය.</verse>
				<verse number="19">ඉක්මනින් තිමෝති ඔබ වෙත එවීමට යේසුස් ස්වාමින්වහන්සේ තුළ මම බලාපොරොත්තු වෙමි. ඒ, ඔබ ගැන තොරතුරු දැන, මා ද දිරිමත් වන පිණිස ය.</verse>
				<verse number="20">ඔබගේ සුබ සෙත ගැන ඔහු මෙන් අව්‍යාජ උනන්දුවක් දක්වන කෙනකු මට නැත.</verse>
				<verse number="21">හැම කෙනකුම බලන්නේ තම ලාභ-ප්‍රයෝජනය මිස, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කාරණා ගැන නො වේ.</verse>
				<verse number="22">එහෙත් ඔබ දන්නා පරිදි, තිමෝති, පියකු සමඟ සේවය කරන පුතකු සේ, මා සමඟ ශුභාරංචි කටයුතුවල යෙදීම තුළින් තමන් කවුරුදැයි පෙන්වා තිබේ.</verse>
				<verse number="23">එනිසා මෙහිදී මට කුමක් වේදැයි දැනගත් විගස, ඔබ වෙත ඔහු එවීම මාගේ බලාපොරොත්තුවයි.</verse>
				<verse number="24">මමත් විගස ඔබ වෙත එනු ඇතැයි යන විශ්වාසයක් ස්වාමින්වහන්සේ තුළ මට තිබේ.</verse>
				<verse number="25">මගේ උපකාරයට ඔබේ නියෝජිතයා වශයෙන් ඔබ මා වෙත එවූ එපප්‍රොදිතස්, ඔබ වෙත ආපසු එවීම යුතු යැයි සිතුවෙමි. ඔහු මාගේ සහෝදරයා ය; මගේ සේවයේ හවුල්කරුවා හා හවුල් හේවායා ය.</verse>
				<verse number="26">ඔබ හැම දකින්නට ඔහු දැඩි ආශාවෙන් සිටීමත්, ඔහු රෝගීව සිටි වග ඔබත් දැනගැනීම නිසා ඔහු සංවේගයට පත් වීමත් ඊට හේතුවයි.</verse>
				<verse number="27">ඇත්තෙන්ම ඔහු මැරෙන තරමට රෝගී විය; එහෙත් දෙවියන්වහන්සේ ඔහුට දයා පෑ සේක. ඔහුට පමණක් නො ව, මා දුකින් දුකට පත්වීම වළකමින් උන්වහන්සේ මටත් දයා පෑ සේක.</verse>
				<verse number="28">එබැවින් යළි ඔහු දැක්මෙන් ඔබ සතුටින් පිනා යන පිණිස හා මගේ කනස්සල්ල හීන වන පිණිස, ඔහු ආපසු එවීමට වඩ වඩා උනන්දු වෙමි.</verse>
				<verse number="29">ස්වාමින්වහන්සේ තුළ මහත් සොම්නසින් ඔහු පිළිගන්න. මෙබඳු අයට ගෞරව කරන්න.</verse>
				<verse number="30">මන්ද ඔබ විසින් දිය නො හැකි වූ සහාය මට දෙන්නට ඔහු සිය ජීවිතය පවා පරදුවට තබමින්, ක්‍රිස්තුස්වහන්සේගේ සේවය නිසා මරණයට ඒ සා ළං වූයේ ය.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">ඉදින් මා සහෝදරයිනි, ස්වාමින්වහන්සේ තුළ ප්‍රීතිවන්න! එකම දේ යළි යළිත් ඔබට ලිවීම මට කරදරයක් නො වේ. ඔබගේ පරෙස්සමටත් එය හොඳ ය.</verse>
				<verse number="2">ඔය බල්ලන්ගෙන් පරෙස්සම් වන්න! ඔය දුෂ්ටකම් කරන්නන්ගෙන් පරෙස්සම් වන්න! ඔය මාංසයේ අංග-ඡේදන කරන්නන්ගෙන් පරෙස්සම් වන්න!</verse>
				<verse number="3">මන්ද සැබෑ චර්මඡේදිතයෝ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මඟින් නමස්කාර කරන, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පාරට්ටු කරන, මාංසය කෙරේ විශ්වාසය නො තබන අපිම ය.</verse>
				<verse number="4">ඕනෑ නම් මාංසය කෙරේ විශ්වාසය තැබීමට හේතු ද මට ඇත. මාංසය කෙරේ විශ්වාසය තැබීමට තමනට හේතු ඇතැයි යමෙක් සිතන්නේ නම්, ඊට වැඩි හේතු බොහොමයක් මට තියේ:</verse>
				<verse number="5">ඉපදී අට වන දින චර්ම-ඡේදනය ලදිමි. ඉශ්‍රායෙල් ජාතිකයෙක්මි; බෙන්ජමින් ගෝත්‍රිකයෙක්මි; හෙබ්‍රෙව්වන්ගෙත් හෙබ්‍රෙව්වෙක්මි. දහම් නීතියට අනුව, පරිසියෙක්මි;</verse>
				<verse number="6">උද්යෝගයට අනුව නම් සභාවට පීඩා කළ කෙනෙක්මි; දහම් නීතියෙන් පිළිගැනෙන ධර්මිෂ්ඨකමට අනුව නම් දෝෂ නැති කෙනෙක්මි.</verse>
				<verse number="7">එහෙත් මට වාසිදායක වූ ඒ දෑ ක්‍රිස්තුස්වහන්සේ උදෙසා දැන් අවාසි ලෙසින් සලකමි.</verse>
				<verse number="8">එපමණක් ද! මා ස්වාමියාණන් වූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ හැඳින ගැනීමේ පරම උතුම්කම හා සසඳන කල, අන් හැම දෙයක්ම අලාභයක් සේ සලකමි. උන්වහන්සේ නිසා සියල්ල මට අහිමි වුවත්, මා ඒ සියල්ල කුණු-කසල ලෙසින් සලකන්නේ ක්‍රිස්තුස්වහන්සේ අත්කර ගනු පිණිසත්,</verse>
				<verse number="9">මා උන්වහන්සේ තුළ සිටින පිණිසත් ය. එය අත්කර ගන්නේ දහම් නීතියෙන් එන මගේම ධර්මිෂ්ඨකමින් නො ව, ක්‍රිස්තුස්වහන්සේ ඇදහීම මඟින් එන, ඇදහිල්ල මත දෙවියන්වහන්සේ වෙතින් එන ධර්මිෂ්ඨකම මඟිනි.</verse>
				<verse number="10">මට වුවමනා ක්‍රිස්තුස්වහන්සේ හා උන්වහන්සේගේ නැවත නැගිටීමේ බලය දැනගැනීමටත්, උන්වහන්සේගේ මරණයෙන් උන්වහන්සේ හා සමාන බවට පත් වෙමින්, උන්වහන්සේගේ දුක්-පීඩාවනට පංගුකාරවීමටත්,</verse>
				<verse number="11">මෙසේ යම් අන්දමකින් මළවුන්ගෙන් නැගිටීම අත්කර ගැනීමටත් ය.</verse>
				<verse number="12">මේ දෑ මා අත්කර ගෙන සිටිනවා නො වේ. පරිපූර්ණත්වයට පමුණුවනු ලැබ සිටිනවාත් නො වේ. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මා අල්ලා ගත්තේ කුමක් සඳහා ද, ඒ දෑ අල්ලා ගැනීමට වැර දරමින් සිටිමි.</verse>
				<verse number="13">සැබවින් ම සහෝදරයිනි, තවමත් මා ඒ දෑ අල්ලා ගත්තෙමැයි නො සිතමි. එහෙත් එක් දෙයක් කරමි. පසුපසින් ඇති දෑ අමතක කොට, ඉදිරියෙන් ඇති දෑ වෙත මුළු වීරියෙන්ම පෙරට ඇදෙමින්,</verse>
				<verse number="14">ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගෙන් වූ ස්වර්ගීය කැඳවීමේ දිනුම ලබන්නට දිනුම් කණුව කරා පෙරට දුවන්නෙමි.</verse>
				<verse number="15">අප අතරින් පරිණතවූවන් එබඳු ආකල්පයක් දැරිය යුතු ය. යම් හේතුවක් මත ඔබ අන් මතයක් දරන්නේ නම්, දෙවියන්වහන්සේ එයත් ඔබට වටහා දෙනු ඇත.</verse>
				<verse number="16">කෙසේ වෙතත් දැනටම අප යම් තත්වයකට පැමිණ සිටිමු ද, ඒ අනුව හැසිරෙමු.</verse>
				<verse number="17">සහෝදරයිනි, එක්ව මා අනුගමන කරන්නන් වෙමින්, අප ඔබට පෙන්වා දුන් ජීවන රටාව අනුව යන්නන් ආදර්ශයට ගන්න.</verse>
				<verse number="18">මන්ද නිතර ඔබට කියා ඇති සේ, දැන් යළි කඳුළින් ද යුතුව මා ඔබට කියන්නේ, බොහෝ දෙනකු ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියේ සතුරන්ව ජීවත් වන බවයි.</verse>
				<verse number="19">ඔවුන්ගේ අවසානය විනාශයයි; ඔවුන්ගේ දෙවියන් ඔවුන්ගේ බඩ ය; ඔවුන් පාරට්ටු කරගන්නේ තමන් ලජ්ජා විය යුතු දෑ ගැන ය. ඔවුන්ගේ මනස රැඳී ඇත්තේ ලෞකික දෑ පිට ය.</verse>
				<verse number="20">එහෙත් අපගේ පුරවැසි භාවය ස්වර්ගයෙහි ය. එහි සිට ගැලවුම්කරුවෙක්, එනම් යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ එන තුරු, අපි මග බලා සිටින්නෙමු.</verse>
				<verse number="21">උන්වහන්සේ සියලු දේ තම අණසක යටතට ගැනීමට ඇති බලයෙන් මිනිස් අපගේ පහත් සිරුරු උන්වහන්සේගේ මහිමවත් ශරීරයේ සමානත්වයට වෙනස් කරනු ඇත.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">එබැවින් මා ප්‍රේම කරන, මා දැඩි සේ ඇලුම් කරන සහෝදරයිනි, ප්‍රේමණීයයනි, මාගේ ප්‍රීතියත්, කිරීටයත් වන ඔබ, ස්වාමින්වහන්සේ තුළ ස්ථිරව සිටින්න.</verse>
				<verse number="2">එවූදියාට ද සින්තිකීට ද ස්වාමින්වහන්සේ තුළ එක්සත් වන ලෙස මම ඉල්ලමි.</verse>
				<verse number="3">ඇත්තෙන්ම, මේ ස්ත්‍රීන්ට උපකාර කරන මෙන් මා හිතාදර හවුල් සේවක ඔබෙන් ද ඉල්ලමි. මොවුහු, ක්ලෙමන්ත් ඇතුළු අනිකුත් මා සහෝදර සේවකයින් සමඟ ශුභාරංචිය උදෙසා හරි හරියට මා සමඟ සේවය කළහ. ඔවුන්ගේ නාම ජීවන පොතේ ලියවී ඇත.</verse>
				<verse number="4">ස්වාමින්වහන්සේ තුළ නිතර ප්‍රීතිවන්න. මම නැවත එයම කියමි: ප්‍රීතිවන්න!</verse>
				<verse number="5">ඔබගේ ගුණ යහපත්කම හැම දෙනාටම පෙනේවා! ස්වාමින්වහන්සේ ළංව සිටින සේක;</verse>
				<verse number="6">කිසි දෙයක් ගැන කනස්සලු නො වී, හැම දෙයකදීම යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් යුතුව, ස්තුති කරමින්, ඔබේ ඉල්ලීම් දෙවියන්වහන්සේ වෙත පිළිගන්වන්න.</verse>
				<verse number="7">එවිට, සියලු අවබෝධ ඉක්මවා යන දෙවියන්වහන්සේගේ සාමය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබගේ හදවත් ද ඔබගේ මනස ද ආරක්ෂා කරනු ඇත.</verse>
				<verse number="8">අවසන් වශයෙන් සහෝදරයිනි, සත්‍ය දේ කවරේ ද උදාර දේ කවරේ ද නිවැරදි දේ කවරේ ද පවිත්‍ර දේ කවරේ ද මනහර දේ කවරේ ද අගේ කළ යුතු දේ කවරේ ද එය විශිෂ්ට නම්, ප්‍රශංසනීය නම් ඒ දෑ ගැන සිත් යොමන්න.</verse>
				<verse number="9">ඔබ කවරක් මාගෙන් උගත්තේ ද කවරක් මාගෙන් ලැබුවේ ද ඇසුවේ ද කවරක් මා තුළ දුටුවේ ද ඒවා ක්‍රියාවට නගන්න. එවිට සාමයේ දෙවියන්වහන්සේ ඔබ සමඟ වන සේක.</verse>
				<verse number="10">කලකට පසු මා ගැන ඔබගේ සැලකිල්ල අලුත්වීම ගැන ස්වාමින්වහන්සේ තුළ මම බෙහෙවින් ප්‍රීති වෙමි. ඇත්තෙන්ම කවදත් ඔබ මා ගැන සැලකිලිමත් වූ නමුදු, එය පෙන්නුම් කිරීමේ අවස්ථාවක් ඔබට ලැබුණේ නැත.</verse>
				<verse number="11">මට අවශ්‍යතාවක් ඇති නිසා මෙසේ කියනවා නො වේ. මන්ද කවර තත්වයකදී වුව, ලද දෙයින් සෑහීමට මම උගෙන සිටිමි.</verse>
				<verse number="12">අග හිඟ ඇතිව සිටීම කවරේ ද යස ඉසුරු ඇතිව සිටීම කවරේ ද යන්න මම දනිමි. කුස පිරී සිටිය ද කුස-ගිනිව සිටිය ද සරු-සාරව හෝ අග හිඟව දිවි ගෙවුව ද ඒ කවර විටෙකදී වුව, සෑහී-පෑහී සිටීමේ රහස මම ඉගෙන සිටිමි.</verse>
				<verse number="13">මා ශක්තිමත් කරන ක්‍රිස්තුස්වහන්සේ තුළ හැම දෙයක්ම කරන්නට මට පුළුවන.</verse>
				<verse number="14">කෙසේ වෙතත්, ඔබ මගේ අපහසුතාවලදී බෙදා හදා ගැනීම හොඳ ය.</verse>
				<verse number="15">තවද පිලිප්පිවරුන් වූ ඔබ දන්නා පරිදි, ශුභාරංචියේ මුල් දවස්වලදී, මා මකිදෝනියෙන් පිටත්ව යන කල, ඔබ හැර අන් එකදු සභාවක් ගැනීමෙන් හා දීමෙන් මා හා බෙදා හදා ගත්තේ නැත.</verse>
				<verse number="16">මා තෙසලෝනිකයේ සිටියදී පවා මගේ අවශ්‍යතාහි දී යළි යළිත් ඔබ මට ආධාර එවූහ.</verse>
				<verse number="17">මා තෑගි සොයනවා නො වේ. මා බලන්නේ ඔබේ ගිණුමට වඩ වඩා විපාක එක් කිරීමටයි.</verse>
				<verse number="18">සම්පූර්ණ දීමනාවක්, ඕනෑවටත් වඩා වූ දීමනාවක් ලද්දෙමි. එපප්‍රොදිතස් අත ඔබ විසින් මවෙත එවන ලද තෑගි ලැබ මම දැන් හොඳටම සෑහී සිටිමි. ඒවා, දෙවියන්වහන්සේට ප්‍රසන්න වූ සුවඳ පූජාවකි; පිළිගත මනා යාගයකි.</verse>
				<verse number="19">මාගේ දෙවියන්වහන්සේ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ උන්වහන්සේගේ තේජසේ ඉසුරුමත් භාවයේ ප්‍රකාරයට ඔබගේ සියලු අවශ්‍යතා සපුරන සේක.</verse>
				<verse number="20">අපගේ දෙවියන්වහන්සේට, පියාණන්වහන්සේට සදහට ම, සදාතනිකව තේජෝ මහිම වේවා! ආමෙන්.</verse>
				<verse number="21">ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ශුද්ධවතුන් හැම දෙනාට ආචාර කරන්න. මා සමඟ සිටින සහෝදරයෝ ඔබට ආචාර කරති.</verse>
				<verse number="22">සියලු ශුද්ධවන්තයෝ ද, විශේෂයෙන්ම සීසර් මාලිගයේ සිටින ශුද්ධවන්තයෝ ද ඔබට ආචාර කරති.</verse>
				<verse number="23">යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබගේ ආත්මය සමඟ පවතීවා! ආමෙන්.</verse>
			</chapter>
		</book>
		<book number="51">
			<chapter number="1">
				<verse number="1">දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වූ පාවුල් හා අපගේ සහෝදර තිමෝති ද වෙතින්,</verse>
				<verse number="2">කොලොස්සිහි වෙසෙන ශුද්ධවන්තයින් වූ ක්‍රිස්තුස්වහන්සේ තුළ විශ්වාසී සහෝදරයින් වෙතයි: ඔබට අනුග්‍රහයත්, අපගේ පියාණන් වූ දෙවියන්වහන්සේගෙන් සාමයත් අත් වේවා!</verse>
				<verse number="3">ඔබ උදෙසා යාච්ඤා කරන කල, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ පියාණන් වූ දෙවියන්වහන්සේට නිරතුරු අපි තුති පුදන්නේ,</verse>
				<verse number="4">යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති ඔබගේ ඇදහිල්ලත්, සියලු ශුද්ධවන්තයින් වෙත ඇති ඔබගේ ප්‍රේමයත් ගැන අප අසා ඇති බැවිනි.</verse>
				<verse number="5">ඒ දෑ පැන නැගෙනුයේ, ඔබ උදෙසා ස්වර්ගයේ තබා තිබෙන බලාපොරොත්තුව තුළිනි. සත්‍යතාවේ වචනය වන ශුභාරංචිය මඟින් ඒ ගැන දැනටමත් ඔබ අසා ඇත.</verse>
				<verse number="6">ඔබ වෙත පැමිණි මෙම ශුභාරංචිය අසා, දෙවියන්වහන්සේගේ අනුග්‍රහය සැබෑවෙන් ඔබ වටහා ගත් දා පටන්, ඔබ මධ්‍යයේ සිදුවන අයුරින්, එය ලොව මුළුල්ලේම පැතිර පල දරමින්, වැඩෙමින් පවතී.</verse>
				<verse number="7">ඔබ ශුභාරංචිය උගත්තේ අප ප්‍රේමණීය හවුල් දාසයකු වන එපප්‍රස්ගෙනි. ඔහු අප වෙනුවෙන් ක්‍රිස්තුස්වහන්සේගේ විශ්වාසී සේවකයකු වේ.</verse>
				<verse number="8">ආත්මයාණන්වහන්සේ තුළ වූ ඔබගේ ප්‍රේමය ගැන අපට දැන්වූයේ ඔහු ය.</verse>
				<verse number="9">ඔබ ගැන ඇසූ දා පටන් නොකඩව, ඔබ උදෙසා අප යාච්ඤා කරන්නේ එබැවිනි. දෙවියන්වහන්සේගෙන් අප ඉල්ලා සිටින්නේ, සකල ආත්මික ප්‍රඥාව හා අවබෝධය මඟින් උන්වහන්සේගේ කැමැත්ත දැනගැන්මෙහි ලා ඔබ පූර්ණ කරන ලෙසයි.</verse>
				<verse number="10">තවද, ස්වාමින්වහන්සේට ඔබින ලෙස ජීවත් වීමට හා හැම අතින්ම උන්වහන්සේ සතුටු කිරීමට ඔබට හැකි වන පිණිස ය: හැම අයුරු යහ වැඩවලින් පල දරමින් ද දෙවියන්වහන්සේ දැන-හැඳින ගැනීමෙහි වැඩෙමින් ද</verse>
				<verse number="11">නො පසුබස්නා ඉමහත් වීරියක් හා ඉවසීමක් ඔබට අත්වන සේ දෙවියන්වහන්සේගේ තේජාන්විත පරාක්‍රමයට අනුව හැම බලයෙන්ම සවිමත් වෙමින් ප්‍රීතියෙන් ද</verse>
				<verse number="12">ආලෝක රාජ්‍යයෙහි ශුද්ධවන්තයින්ගේ උරුමයේ පංගුකාරකමට ඔබත් සුදුස්සකු කළ පියාණන්වහන්සේට තුති පුදමින් ද ඔබට සිටිනු හැකි වන පිණිස ය.</verse>
				<verse number="13">මන්ද අන්ධකාරයේ ආධිපත්‍යයෙන් අප මුදා ගෙන, ස්වකීය ප්‍රේමණීය පුතණුවන්ගේ රාජ්‍යයට අප ඇතුල්කර ගත්තේ උන්වහන්සේ ය.</verse>
				<verse number="14">අපගේ මිදීම වන අපගේ පාපවලට කමාව අපට ඇත්තේ එම පුත්‍රයාණන් තුළ ය.</verse>
				<verse number="15">අදෘශ්‍යමාන දෙවියන්වහන්සේගේ ස්වරූපය වන උන්වහන්සේ, සකල මැවිල්ලේ කුලුඳුලාණන් ය;</verse>
				<verse number="16">මන්ද සියල්ලම මවන ලද්දේ උන්වහන්සේ මඟිනි; ස්වර්ගය තුළ ද පොළොව පිට ද ඇති දෑ, දෘශ්‍යමාන මෙන්ම අදෘශ්‍යමාන දෑ, සිංහාසන වේවා, පරාක්‍රම වේවා, පාලකයින් හෝ බලධාරීන් වේවා, සියල්ල මවන ලද්දේ උන්වහන්සේ මඟිනි. උන්වහන්සේ වෙනුවෙනි.</verse>
				<verse number="17">සෑම මැවිල්ලකටම පූර්වයෙන් උන්වහන්සේ සිටින සේක. මවන ලද සියලු දේ උන්වහන්සේ තුළ එකට එක්ව පවතී.</verse>
				<verse number="18">සභාව වන ශරීරයේ හිස උන්වහන්සේ ය. මූලාරම්භය උන්වහන්සේ ය. මළවුන්ගෙන් නැගිටි කුලුඳුලාණෝ උන්වහන්සේ ය. මෙසේ, සියලු දේහි ප්‍රමුඛ ශ්‍රේෂ්ඨත්වය උන්වහන්සේ සතු ය.</verse>
				<verse number="19">මන්ද දෙවියන්වහන්සේගේ ප්‍රිය මනාපය වූයේ, ස්වකීය දේවත්වය ක්‍රිස්තුස්වහන්සේ තුළ පරිපූර්ණව පැවතීමත්,</verse>
				<verse number="20">පොළොව පිට ඇති දෑ වේවා, ස්වර්ගයෙහි ඇති දෑ වේවා, ඒ සියල්ල ක්‍රිස්තුස්වහන්සේ කුරුසියේ වගුළ ලෙය හේතු කොට, සාමය සැලසීමෙන්, උන්වහන්සේ මඟින් සියලු දේම තමන්වහන්සේට සමඟි කර ගැනීමත් ය.</verse>
				<verse number="21">කලක් ඔබත් දෙවියන්වහන්සේට පිටස්තරයින්ව, නපුර කිරීමෙන් ඔබේ සිතින් උන්වහන්සේගේ සතුරන්ව සිටියහ.</verse>
				<verse number="22">එහෙත් දැන් ක්‍රිස්තුස්වහන්සේගේ මාංසික ශරීරයේ මරණය මඟින් දෙවියන්වහන්සේ, තමන්වහන්සේ සමඟ ඔබ සමඟි කරගෙන ඇත්තේ, තමන්වහන්සේගේ ඇස් හමුවේ ඔබ ශුද්ධව, නො කැළැල්ව, නිදොස්ව පිළිගැන්වෙනු පිණිස ය.</verse>
				<verse number="23">එසේ වන්නේ ඔබ ඇදහිල්ලේ තහවුරු වී, ස්ථාවර වී, අඛණ්ඩව එහි පැවත, ශුභාරංචියේ බලාපොරොත්තුවෙන් බැහැර නො වී සිටියහොත් ය. අහසින් යට සමස්ත මැවිල්ලටම ප්‍රකාශිත එය, ඔබ ද ඇසූ ශුභාරංචිය ය; පාවුල් වන මම එහි සේවකයෙක් බවට පත්ව සිටිමි.</verse>
				<verse number="24">ඔබ උදෙසා විඳින දුක් ගැහැට ගැන, දැන් මම සතුටු වෙමි. ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය වන සභාව උදෙසා උන්වහන්සේගේ වධ විඳීම්වල අඩුව මාගේ මාංසයෙන් සම්පූර්ණ කරමි.</verse>
				<verse number="25">දෙවියන්වහන්සේගේ වචනය පූර්ණත්වයෙන් ප්‍රකාශ කිරීමේ කාර්යය ඉටු කිරීමට, දෙවියන්වහන්සේගේ නියමයෙන් ඔබ උදෙසා මට දෙන ලද උන්වහන්සේගේ ගබඩාකාරකමේ හැටියට මම එහි සේවකයෙක් වී සිටිමි.</verse>
				<verse number="26">ඒ පණිවුඩය, කාල වකවානු හා පරම්පරා ගණනාවක් තිස්සේ රහසිගතව තිබූ නමුදු, දැන් ශුද්ධවන්තයනට හෙළිකර ඇති අබිරහසයි.</verse>
				<verse number="27">අන්‍ය-ජාතීන් අතරේ මෙම අබිරහසේ තේජාන්විත සම්පත කොතෙක්දැයි ඔවුන්ට දැන්වීමට දෙවියන්වහන්සේ තීරණ කළ සේක. ඒ තේජසේ බලාපොරොත්තුව ඔබ තුළ සිටින ක්‍රිස්තුස්වහන්සේ ය.</verse>
				<verse number="28">එබැවින් හැම කෙනකුම ක්‍රිස්තුස්වහන්සේ තුළ සම්පූර්ණත්වයෙන් දෙවියන්වහන්සේට පිළිගන්වනු පිණිස, අපි මුළු ප්‍රඥාවෙන් යුතුව හැම කෙනකුටම ගුරුහරුකම් දෙමින් ද හැම කෙනකුටම උගන්වමින් ද ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කරන්නෙමු.</verse>
				<verse number="29">එම අරමුණ ඉටු කරනු සඳහා මම, මා තුළ බලවත්ව ක්‍රියා කරන උන්වහන්සේගේ උපරිම ශක්තියෙන් යුතුව මහත් පරිශ්‍රමයෙන් වෙහෙස දරන්නෙමි.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">ඔබ ද ලවොදිකයෙහි සිටින්නවුන් ද පෞද්ගලිකව මා මුණ නො ගැසුණු සැවොම ද උදෙසා මා කොතරම් පරිශ්‍රමයක් දරනවාදැයි ඔබ දැන ගන්නවාට කැමතියි.</verse>
				<verse number="2">මගේ බලාපොරොත්තුව ඔවුන් හදවතින් දිරිගැන්වී, ප්‍රේමයෙන් එකට බැඳී, සම්පූර්ණ අවබෝධයේ උපරිම සමෘද්ධිය අත්කර ගැනීමයි. එවිට දෙවියන්වහන්සේගේ අබිරහස ඔවුන්ට දැනගත හැකි වෙයි. ඒ අබිරහස, ක්‍රිස්තුස්වහන්සේ ය.</verse>
				<verse number="3">ප්‍රඥාවෙත්, අවබෝධයේත් සමස්ත ධන සම්භාරයම ගබඩා කොට ඇත්තේ උන්වහන්සේ තුළ ය.</verse>
				<verse number="4">මා මෙසේ කියන්නේ කිසිවකුගේ හෝ සියුම් චාටු තර්කවලින් ඔබ මුළා නො වන පිණිස ය.</verse>
				<verse number="5">ගතින් මම ඔබ හමුවේ නැති නමුදු, ආත්මයෙන් ඔබ සමඟ සිටිමින්, ඔබගේ විනය හා ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති ඔබගේ ඇදහිල්ලේ ස්ථිරකම දැක ප්‍රීති වෙමි.</verse>
				<verse number="6">එබැවින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ස්වාමියාණන් වශයෙන් පිළිගත් ලෙසම උන්වහන්සේ තුළ ජීවත් වන්න;</verse>
				<verse number="7">උන්වහන්සේ තුළ මුල් ඇද, ගොඩ නගනු ලැබ, ඔබට ඉගැන්වූ පරිදි ඇදහිල්ලේ සවිමත්ව සිට, බෙහෙවින් තුති දෙමින් එසේ කරන්න.</verse>
				<verse number="8">ක්‍රිස්තුස්වහන්සේ මත පදනම් නො වී, මානව සම්ප්‍රදායයන්ට හා මේ ලෝකයේ යක්ෂාත්ම බලවේගවලට අනුව වූ දර්ශනවාද හා හිස් රැවිටිලිවලින් ඔබ වහල් කොට ගන්නට කිසිවකුට ඉඩ නො දෙන්න.</verse>
				<verse number="9">මන්ද උන්වහන්සේ තුළ පූර්ණ දේවත්වය මුළුමනින් ශරීරාකාරයෙන් වාසය කරයි.</verse>
				<verse number="10">හැම පාලනයකට හා ආධිපත්‍යයකට ඉහළින් හිසව සිටින ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබත් පූර්ණත්වය ලැබ සිටිති.</verse>
				<verse number="11">උන්වහන්සේ තුළ ඔබත් චර්මඡේද කරනු ලැබ ඇත. මිනිස් අතින් සිදු වූ චර්ම-ඡේදනයක් නො වන එය, ඔබේ මාංසික ශරීරය පහකරමින්, ක්‍රිස්තුස්වහන්සේ විසින් කරන ලද චර්ම-ඡේදනයකි.</verse>
				<verse number="12">බව්තීස්මයේදී ඔබත් උන්වහන්සේ සමඟ වළලනු ලැබ, උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ දෙවියන්වහන්සේගේ ක්‍රියාකාරී බලය කෙරේ ඇති ඔබගේ ඇදහිල්ලෙන් උන්වහන්සේ සමඟ යළි ජීවනයට නැගිටුවනු ලැබ සිටිති.</verse>
				<verse number="13">ඔබගේ වරද හේතු කොට හා චර්මඡේද්‍ය නො වූ මාංසයේ සිටීම හේතු කොට ඔබ මැරී සිටියදී දෙවියන්වහන්සේ ඔබ ක්‍රිස්තුස්වහන්සේ සමඟ ජීවනයට පැමිණවූ සේක. අපගේ හැම පාපයකටම උන්වහන්සේ අපට සමාව දුන්නේ,</verse>
				<verse number="14">අපට එදිරිව, අපට විරුද්ධව නැගී තිබූ චෝදනා පත්‍රය, එහි නියෝග සමඟ කටුගා දැමීමෙනි. එය කුරුසියට තබා ඇණ ගැසීමෙන්, උන්වහන්සේ එය ඉවත් කළ සේක.</verse>
				<verse number="15">උන්වහන්සේ, බලධාරීන් හා අධිපතීන් නිරායුධ කොට, කුරුසිය කරණකොටගෙන උන් පරදා ජය ගෙන, ප්‍රසිද්ධියේ ඔවුන් අවමානයට පත් කළ සේක.</verse>
				<verse number="16">එබැවින් ඔබ ගන්නා ආහාර හා පාන ගැන හෝ මංගල්‍ය උත්සවයක් ගැන හෝ නවසඳ දවසක් ගැන හෝ සබත් දවසක් ගැන ඔබ විනිශ්චය කරන්නට කිසිවකුටත් ඉඩ නො දෙන්න.</verse>
				<verse number="17">ඒවා පැමිණෙන්නට තිබූ දේවල ඡායාවක් පමණි; යථාර්ථය ක්‍රිස්තුස්වහන්සේ ය.</verse>
				<verse number="18">ඔබට හිමි ත්‍යාගයට ඔබ නුසුදුස්සකු කිරීමට ව්‍යාජ යටහත්කමට හා දේව දූත නමස්කාරයට කැමති කිසිවකුට ඉඩ නො දෙන්න. තමන් දුටු දර්ශන ගැන පුරසාරම් දොඩමින්, තම මාංසික සිත් පුහු සංකල්පනාවලින් පුරවා ගෙන, උදාරම් වන</verse>
				<verse number="19">ඔවුහු හිසට සම්බන්ධ නො වී සිටිති. මුළු සිරුර සන්ධි හා අස්ථි බැමි මඟින් පෝෂණය කර, එකට බද්ධ කොට දෙවියන්වහන්සේගෙන් වූ වර්ධනයෙන් වර්ධනය වන්නට සලස්වන්නේ එම හිස ය.</verse>
				<verse number="20">ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඔබ මරණයට පත්වීමෙන්, ලෝකයේ යක්ෂාත්ම බලවේග වෙතින් වෙන් වුණි නම් තවමත් ලෝකයේ ජීවත්වන්නා සේ එහි නියෝගවලට ඔබ යටත් වන්නේ මන්ද:</verse>
				<verse number="21">“මේවාට අත නො ගසනු! මේවා රස නො බලනු! මේවා ස්පර්ශ නො කරනු!” යන</verse>
				<verse number="22">ඒ සියල්ල මිනිස් නියෝග හා ඉගැන්වීම් මත බිහිවූ ඒවා බැවින්, භාවිතයෙන් අභාවයට යෑමට නියමිත ය.</verse>
				<verse number="23">තමන්ම සකස් කර ගත් නමස්කාර පිළිවෙත් මඟින් ද පුහු යටහත්කමින් ද සිරුරට වධ දීමෙන් ද සැදුම් ලත් එම ශික්ෂා-නියෝග පෙනුමට නැණවත් වුව ද, සැබවින් ම මාංසික තෘෂ්ණා මැඩලීමේ කිසි වටිනාකමක් ඒවායේ නැත.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">එබැවින්, ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඔබත් නැගිටුවා ඇති බැවින්, දෙවියන්වහන්සේගේ දකුණු පස ක්‍රිස්තුස්වහන්සේ හිඳ සිටින තැන ඇති උසස් දෑ සොයන්න.</verse>
				<verse number="2">පොළොව පිට ඇති දෑ මත නො ව, උසස් තැන්හි ඇති දෑ මත ඔබගේ සිත් රඳවන්න.</verse>
				<verse number="3">මන්ද ඔබ මැරුණු බැවින්, ඔබගේ ජීවිතය ක්‍රිස්තුස්වහන්සේ සමඟ දෙවියන්වහන්සේ තුළ සඟවා ඇත.</verse>
				<verse number="4">ඔබගේ ජීවනය වූ ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ වන කල, උන්වහන්සේ සමඟ ඔබත් තේජසින් යුතුව ප්‍රකාශ වනු ඇත.</verse>
				<verse number="5">එබැවින් ලිංගික අනාචාරය ද අපවිත්‍රකම ද කාම තෘෂ්ණා ද විකෘති ආශා ද රූප වැඳීම වන තණ්හාව ද යන ඔබේ භූමික වූ දෑ නසාලන්න.</verse>
				<verse number="6">මේ දෑ නිසා අකීකරුකමේ පුත්‍රයන් පිට දේව උදහස පැමිණේ.</verse>
				<verse number="7">කලින් ඔබත් ඒවා තුළ දිවි ගෙව්වේ, එම දෑහි ගැලෙමිනි.</verse>
				<verse number="8">එහෙත් දැන්: කෝපය, වියරුව, ද්වේෂය, අවලාද-අපහාස හා ඔබගේ මුඛයෙන් අසභ්‍ය කතා යන ඒ හැම දෑ දුරු කළ යුතු ය.</verse>
				<verse number="9">එකිනෙකාට බොරු නො කියන්න. මන්ද ඔබගේ පැරණි ස්වභාව එහි ක්‍රියා කලාපය සමඟ ඉවත ලූ ඔබ,</verse>
				<verse number="10">අලුත් ස්වභාවය පැලඳගෙන ඇත. එම ස්වභාවය, එහි මැවුම්කරුවාණන්ගේ ස්වරූපයට අනුව දැනගැන්මෙන් අලුත් කෙරේ.</verse>
				<verse number="11">මෙහි ග්‍රීක-යුදෙව් කියා හෝ චර්මඡේද වූ-නොවූ කියා හෝ ම්ලේච්ඡ, අශිෂ්ට, වහල් හෝ නිවහල් කියා හෝ භේදයක් නැත. එහෙත් ක්‍රිස්තුස්වහන්සේ සියල්ල ය; සියල්ලන් තුළ ය.</verse>
				<verse number="12">එබැවින්, දෙවියන්වහන්සේ තෝරාගත් ශුද්ධවූත්, ප්‍රේමණීයවූත් ජනයා වන ඔබ, අනුකම්පාව ද කරුණාව ද නිහතමානීත්වය ද මෘදුකම ද ඉවසිලිවන්තකම ද පැලඳ ගන්න.</verse>
				<verse number="13">එකිනෙකා ගැන ඉවසීමෙන් කටයුතු කරන්න; යම් කෙනකුට එරෙහිව තවත් කෙනකුට යම් පැමිණිල්ලක් ඇතත්, එකිනෙකාට සමාව දෙමින්, ස්වාමින්වහන්සේ ඔබට කමා කළ අයුරින් ඔබත් කමා වන්න.</verse>
				<verse number="14">මේ සියලු දෑ පිරිපුන් එකමුතුවකින් එකට බඳවන ප්‍රේමය, ඒ සියල්ලට ඉහළින් පැලඳ ගන්න.</verse>
				<verse number="15">එකම සිරුරක් තුළ ඔබ කැඳවනු ලැබ ඇත්තේ සාමයට බැවින්, ක්‍රිස්තුස්වහන්සේගේ සාමය ඔබ හදවත්හි රජකම් කෙරේවා! ස්තූතිවන්තව ද සිටින්න.</verse>
				<verse number="16">ක්‍රිස්තුස්වහන්සේගේ වචනය සියලු ප්‍රඥාවෙන් යුතුව ඉසුරුමත්ව ඔබ තුළ වාසය කෙරේවා! ගීතාවලී කාව්‍ය, ගීතිකා හා ආත්මික ගී තුළින් ඔබ එකිනෙකාට උගන්වමින් හා ගුරුහරුකම් දෙමින් දෙවියන්වහන්සේට ස්තුති පිරි හදවතින් යුතුව ගායනා කරන්න.</verse>
				<verse number="17">කතාවෙන් හෝ ක්‍රියාවෙන් හෝ ඔබ කරන කවර දේ වුව, යේසුස් ස්වාමින්වහන්සේගේ නාමයෙන්, උන්වහන්සේ තුළින් පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේට තුති පුදමින් කරන්න.</verse>
				<verse number="18">භාර්යාවනි, ස්වාමින්වහන්සේ තුළ ඔබින පරිදි ඔබගේ පුරුෂයනට යටත් වන්න.</verse>
				<verse number="19">පුරුෂයිනි, ඔබගේ භාර්යාවනට ප්‍රේම කරන්න; ඔවුනට රළු-පරුෂ නො වන්න.</verse>
				<verse number="20">දරුවනි, සියල්ලේදී ඔබේ මව්පියනට කීකරු වන්න. මන්ද එය ස්වාමින්වහන්සේ ප්‍රසන්න කරවයි.</verse>
				<verse number="21">පියවරුනි, ඔබේ දරුවන් කෝප නො කරන්න. කළහොත් ඔවුන් කලකිරෙනු ඇත.</verse>
				<verse number="22">දාසයිනි, සියල්ලේදී ඔබේ භූමික හාම්පුතුනට කීකරු වන්න. ඔවුන් ඔබ දෙස ඇස ගසා සිටියදී පමණක් ඔවුන්ගේ සිත් දිනාගනු පිණිස නො ව, අවංක හදවතින් ද ස්වාමින්වහන්සේට ගෞරව භය දැක්වීමක් වශයෙන් ද එසේ කරන්න.</verse>
				<verse number="23">කරන කවර කටයුත්තක් වුව, මිනිසුනට නො ව ස්වාමින්වහන්සේට කරන මෙහෙයකැයි සලකා සිතේ මුළු කැමැත්තෙන් එහි නිරත විය යුත්තේ,</verse>
				<verse number="24">ත්‍යාගයක් වන උරුමයක් ස්වාමින්වහන්සේ වෙතින් ඔබට ලැබෙන වග ඔබ දන්නා බැවිනි. ඔබ සේවය කරන්නේ ක්‍රිස්තුස් නම් ස්වාමියාණන්ට ය.</verse>
				<verse number="25">වරද කරන කවරකු වුව ද, ඔහුගේ වරදට පලවිපාකය ලබනු ඇත. තරාතිරම් සැලකීමක් නැත.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">හාම්පුතුනි, ඔබටත් හාම්පුතකු ස්වර්ගයෙහි සිටිනා වග දැන, ඔබගේ දාස දාසීනට යුතු ලෙසත්, සාධාරණ ලෙසත් සලකන්න.</verse>
				<verse number="2">ස්තුතිවන්තකමින් යුතුව සිහි බුද්ධියෙන් දිගටම යාච්ඤාවේ නිරත වන්න.</verse>
				<verse number="3">මා සිර-බැඳුම් ලැබීමට හේතු වූ ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ අබිරහස ප්‍රකාශ කෙරෙන පණිවුඩයේ වචනය ප්‍රකාශ කරන්නට හැකි වන ලෙස දෙවියන්වහන්සේ අපට දොරක් ඇර දෙන පිණිස, අප උදෙසාත් යාච්ඤා කරන්න.</verse>
				<verse number="4">කළ යුතු පරිදි පැහැදිලිව එය ප්‍රකාශ කරන්නට මට හැකි වනු පිණිස යාච්ඤා කරන්න.</verse>
				<verse number="5">කාලය ඉතා හොඳින් පාවිච්චි කරමින්, පිටස්තර අය සමඟ කටයුතු කිරීමේදී නැණවත්ව ක්‍රියා කරන්න.</verse>
				<verse number="6">ඔබගේ කතා බහ නිතරම දයාන්විතව, ලුණෙන් රසවත්ව තිබේවා. එවිට කවරකුට වුව සුදුසු පරිදි පිළිතුරු දෙන්නට ඔබට හැකි වෙයි.</verse>
				<verse number="7">මා ගැන සියලු තොරතුරු තුකිකස් ඔබට දන්වනු ඇත. ප්‍රේමණීය සහෝදරයකු හා විශ්වාසනීය සේවකයකු වන ඔහු ස්වාමින්වහන්සේ තුළ හවුල් දාසයෙක් ද වෙයි.</verse>
				<verse number="8">මා ඔබ වෙත ඔහු එවන්නේ අපගේ තොරතුරු ඔබ දැනගන්නා පිණිසත්, ඔබ හදවත් ධෛර්යවත් කරන්නටත් යන අරමුණින්ම ය.</verse>
				<verse number="9">ඔහු එන්නේ, ඔබේම කෙනකු වූ අපගේ විශ්වාසනීය, ප්‍රේමණීය සහෝදර ඔනේසිමස් සමඟ ය. මෙහි හැම දෙයක් ගැනම ඔවුන් ඔබට පවසනු ඇත.</verse>
				<verse number="10">මා හා සිරගතව සිටින අරිස්තාර්කස් ඔබට ආචාර කරයි. බාර්ණබස්ගේ ඥාති සහෝදර මාර්ක් ද ඔබට ආචාර කරයි. මාර්ක් ඔබ වෙත පැමිණියහොත්, ඔහු සාදරයෙන් පිළිගන්න. ඔහු ගැන දැනටමත් ඔබට උපදෙස් ලැබී තිබේ.</verse>
				<verse number="11">යුස්තස් නම් ලත් යේසුස් ද ඔබට ආචාර කරයි. දෙවියන්වහන්සේගේ රාජ්‍යය උදෙසා මා හා සේවය කරන්නන් අතරේ සිටින චර්මඡේදිතයෝ ඔවුහු පමණෙකි. සැබවින් ම ඔවුන් මට මහත් සැනසිල්ලකි.</verse>
				<verse number="12">ඔබගෙන් කෙනකු වූ ද ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයකු වූ ද එපප්‍රස් ඔබට ආචාර කරයි. දෙවියන්වහන්සේගේ මුළු කැමැත්ත තුළ පරිණතව, මුළුමනින්ම නිසැකව ඔබ ස්ථිරව සිටින පිණිස, ඔහු ඔබ උදෙසා මහත් පරිශ්‍රමයෙන් නිරතුරු යාච්ඤා කරයි.</verse>
				<verse number="13">ඔබ උදෙසාත්, ලවොදිකයේ හා හියරපො‍ලිසෙහි අය උදෙසාත් ඔහු බොහෝ වෙහෙසෙන වගට මම සාක්ෂි වෙමි.</verse>
				<verse number="14">අපගේ ප්‍රේමණීය මිත්‍ර වෛද්‍ය ලූක් හා දේමස් ඔබට ආචාර කරති.</verse>
				<verse number="15">ලවොදිකයෙහි සහෝදරයින්ටත්, නිම්පාටත්, ඇගේ නිවසෙහි රැස්වන සභාවටත් මගේ ආචාරය දන්වන්න.</verse>
				<verse number="16">මෙම ලිපිය ඔබ අතරේ කියවූ පසු ලවොදිකයේ සභාවේදී ද කියවන්න. එසේම, ලවොදිකයන්ගේ ලිපිය ඔබ අතරෙහි කියවන්න.</verse>
				<verse number="17">“ස්වාමින්වහන්සේ ඔබට පැවරූ වැඩ කොටස සම්පූර්ණ කරන්නට වගබලා ගන්නැ” යි අර්කිපස්ට කියන්න.</verse>
				<verse number="18">පාවුල් වන මගේම අතින් මේ ආචාරය ලියමි. මා බැඳි සිර-බැඳුම් ගැන සිහි කරන්න. අනුග්‍රහය ඔබ සමඟ පවතීවා!</verse>
			</chapter>
		</book>
		<book number="52">
			<chapter number="1">
				<verse number="1">පාවුල්, සිල්වානස් හා තිමෝති වෙතිනි. පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේ ද යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ ද තුළ තෙසලෝනිවරුන්ගේ සභාව වෙත ය: ඔබට අනුග්‍රහයත්, සාමයත් වේවා!</verse>
				<verse number="2">අපගේ යාච්ඤාවලදී ඔබ සිහි කරමින්, ඔබ හැම ගැන නිරතුරු අපි දෙවියන්වහන්සේට තුති පුදන්නෙමු.</verse>
				<verse number="3">ඔබගේ ඇදහිල්ලේ ක්‍රියාව ද ඔබගේ ප්‍රේමයේ වෙහෙසීම ද යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ තුළ ඔබගේ බලාපොරොත්තුවෙන් උපදනා නො පසුබට වීර්යය ද ගැන අපගේ දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේ ඉදිරියේ නිබඳව අපි සිහි කරන්නෙමු.</verse>
				<verse number="4">දෙවියන්වහන්සේගේ ප්‍රේමයට පාත්‍ර වූ සහෝදරයිනි, උන්වහන්සේ ඔබ තෝරා ගෙන ඇති බැව් අපි දනිමු.</verse>
				<verse number="5">මන්ද අපගේ ශුභාරංචිය ඔබ වෙත ආවේ, හුදෙක් වචන මඟින් පමණක් නො වේ; බලයෙන්, ශුද්ධාත්මයාණන්ගෙන් හා සහතික විශ්වාසයකින් යුතුව ය. ඔබ උදෙසා අප කෙලෙස ඔබ අතරෙහි විසුවාදැයි ඔබ දන්නහු ය.</verse>
				<verse number="6">දැඩි පීඩා අතරදීත්, ශුද්ධාත්මයාණන්ගෙන් ලද ප්‍රීතියෙන් යුතුව පණිවුඩය පිළිගැනීමෙන් ඔබ අපත්, ස්වාමින්වහන්සේත් අනුකරණය කරන්නන් වූහ.</verse>
				<verse number="7">මෙසේ ඔබ මකිදෝනිය හා අකායයෙහි ඇදහිලිවතුන් හැමට ආදර්ශයක් වූහ.</verse>
				<verse number="8">ස්වාමින්වහන්සේගේ පණිවුඩ-රාවය ඔබ වෙතින් මකිදෝනිය හා අකාය පළාත් තුළ පැතිර ගියා පමණක් නො ව, දෙවියන්වහන්සේ කෙරේ ඇති ඔබගේ ඇදහිල්ල ගැන අන් හැම තැන පතළවී ඇති බැවින්, අප ඒ ගැන කිසිවක් කීම අවැසි නො වේ.</verse>
				<verse number="9">මන්ද ඔබ කෙලෙස අප පිළිගත්තේ ද ජීවමාන වූ සත්‍යයම දෙවියන්වහන්සේට මෙහෙ කරන පිණිස පිළිම රූප වෙතින් ඔබ කෙලෙස දෙවියන්වහන්සේ වෙත හැරුණේ ද</verse>
				<verse number="10">පැමිණෙන උදහසින් අප මුදා ගන්නා යේසුස්වහන්සේ, දෙවියන්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගිටුවන ලද පුත්‍රයාණන්වහන්සේ ස්වර්ගයෙන් එන තුරා කෙලෙස ඔබ මඟ බලා සිටින්නේ ද යන්න ඔවුහුම පවසති.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">සහෝදරයිනි, ඔබ වෙත අපගේ පැමිණීම නිෂ්ඵල නො වූ වග ඔබ දන්නහු ය.</verse>
				<verse number="2">ඔබ දන්නා පරිදි කලින් පිලිප්පියේදී හිංසා හා නිග්‍රහ විඳිනට අපට සිදු වුවත්, අපගේ දෙවියන්වහන්සේගේ උපකාරයෙන් දැඩි විරෝධතා මැද වුව ද දෙවියන්වහන්සේගේ ශුභාරංචිය ඔබට ප්‍රකාශ කරන්නට අපට ධෛර්යය තිබුණි.</verse>
				<verse number="3">මන්ද අපෙන් ඔබට කරන අයැදුම මුළාවෙන්, අපවිත්‍ර අදහසින් පැන නගින්නක් නො වේ. ඔබ රවටන්නට අප වැර දරනවා නො වේ.</verse>
				<verse number="4">අප ඔබට කතා කරන්නේ ශුභාරංචිය බාර දීමට සුදුස්සන් යයි දෙවියන්වහන්සේගේ අනුමැතිය ලද්දවුන් වශයෙනි; එසේ කරන්නේ මිනිසුන් සතුටු කිරීමට නො ව අප හදවත් පිරික්සන දෙවියන්වහන්සේ ප්‍රසන්න කිරීමට ය.</verse>
				<verse number="5">අප කිසි විටෙක චාටු බස් නො දෙඩූ වග ඔබ දන්නහු ය. තණ්හාව වසාගැනීමේ උපායක් ද අප නො කළ බවට අපේ සාක්ෂිය දෙවියන්වහන්සේම ය.</verse>
				<verse number="6">මිනිසුන් වෙතින් අප ගරු පැසසුම් සෙව්වේ නැත; ඔබ වෙතින්වත්, අන් කෙනෙකුගෙන්වත් එසේ සෙව්වේ නැත. ක්‍රිස්තුස්වහන්සේගේ අපෝස්තුලුවරුන් වශයෙන් ඔබට බරක් වීමට අපට හැකියාව තිබුණ ද,</verse>
				<verse number="7">ඔබ ගැන අප කටයුතු කළේ මෘදු අන්දමිනි. ඒ, කිරිමවක ඇගේම දරුවන් සෙනෙහසින් රැක බලාගන්නා සේ ය.</verse>
				<verse number="8">කොතරම් අප ඔබට ප්‍රේමණීයව ඇලුම් වූයේ ද යත්, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය පමණක් නො ව, අපේ ජීවිත ද ඔබ හා බෙදා ගැනීමට අපි සතුටුව සිටියෙමු. ඒතරමට ඔබ අපට ප්‍රිය වූහ.</verse>
				<verse number="9">සහෝදරයිනි, අප වෙහෙසුණු හැටිත්, අපහසුතා විඳි හැටිත් ඔබට මතක ඇති. දෙවියන්වහන්සේගේ ශුභාරංචිය ඔබට දේශනා කරන අතරේ අපේ යැපීම් සඳහා කිසිවකුටත් බරක් නො වන ලෙස දිවා රෑ අපි වැඩ කළෙමු.</verse>
				<verse number="10">ඇදහිලිවතුන් වූ ඔබ අතරේදී අප කොතෙක් ශුද්ධව, දැහැමිව හා නිදොස්ව හැසුරුණාදැයි යන්නට අපගේ සාක්ෂිය ඔබත්, දෙවියන්වහන්සේත් ය.</verse>
				<verse number="11">මන්ද ඔබ දන්නා පරිදි ඔබ එකිනෙකාට අප සැලකුවේ පියකු තමන්ගේම දරුවනට සලකන අයුරිනි.</verse>
				<verse number="12">එසේ කළේ තමන්වහන්සේගේ රාජ්‍යටත්, තේජසටත් ඔබ කැඳවාගත් දෙවියන්වහන්සේට ඔබින පරිදි දිවි ගෙවන ලෙස ඔබට අවවාද කරමිනි; දිරි ගන්වමිනි; අණ කරමිනි.</verse>
				<verse number="13">අප වෙතින් ඔබ ඇසූ දෙවියන්වහන්සේගේ වචනය පිළිගත් කල, ඔබ එය පිළිගත්තේ මිනිසුන්ගේ වචනය ලෙසින් නො වේ; අදහන්නා වූ ඔබ තුළ ක්‍රියා කරන, එහි සැබෑ ස්වභාවයට අනුව දෙවියන්වහන්සේගේම වචනය ලෙසිනි. ඒ ගැන ද නිරතුරු අපි දෙවියන්වහන්සේට තුති පුදන්නෙමු.</verse>
				<verse number="14">සහෝදරයිනි ඔබ, යුදයෙහි ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ සභාවන් අනුකරණය කරන්නන් බවට පත්ව ඇත්තේ එහි සභා, යුදෙව්වන්ගෙන් විඳි හිරිහැරම ඔබත් ඔබගේ රට වැසියන්ගෙන් විඳීමෙනි.</verse>
				<verse number="15">ඒ යුදෙව්වෝ යේසුස් ස්වාමින්වහන්සේත්, දිවැසිවරුනුත් මරා දමා, අපත් පලවා හළහ. ඔවුහු දෙවියන්වහන්සේ අමනාප කරවමින්, සියලු මිනිසුනට ද සතුරුව ඇත්තේ,</verse>
				<verse number="16">අන්‍ය-ජාතීන් ගැලවීම ලබන පිණිස ඔවුන්ට වචනය කතා කිරීමෙන් අප වැළැක්වීමෙනි. මේ අයුරින් ඔවුහු නිරතුරු තම පාප උපරිම සීමාව දක්වා ගොඩගසා ගනිති. අවසානයේදී දෙවියන්වහන්සේගේ උදහස ද ඔවුන් පිට වැටී ඇත.</verse>
				<verse number="17">සහෝදරයිනි, සුළු කලකට සිතින් නො ව ගතින් ඔබ වෙතින් අප වෙන් කරනු ලැබ සිටියදී වුව, ඔබගේ මුහුණ දැකීමේ දැඩි ආශාවෙන් යුතුව යළි ඔබ වෙත ඒමට අපි හැම උත්සාහයක්ම දැරීමු.</verse>
				<verse number="18">ඔබ වෙත ඒමට අපට වුවමනා විණි. මම පාවුල්, ඔබ වෙත ඒමට යළි යළිත් උත්සාහ දැරීමි. එහෙත්, සාතන් අප වැළැක් වීය.</verse>
				<verse number="19">කෙසේ වෙතත්, යේසුස් අප ස්වාමින්වහන්සේ යළි පැමිණෙන කල, උන්වහන්සේ ඉදිරියේ අපගේ බලාපොරොත්තුව, අපගේ ප්‍රීතිය, අපගේ පාරට්ටුවේ කිරීටය කුමක් ද? ඔබම නො වේ ද?</verse>
				<verse number="20">සැබවින් ම අපගේ ගෞරවයත්, අපගේ ප්‍රීතියත් ඔබම ය.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">තවදුරටත් මෙය දරා සිටිය නො හැකි වූ කල, ඇතන්ස්හි අප තනි කරනු ලැබීමට කැමතිව,</verse>
				<verse number="2">අපගේ සහෝදරයා හා ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පැතිරවීමේ දෙවියන්වහන්සේගේ හවුල් සේවකයා වූ තිමෝති ඔබ වෙත එවීමු. ඒ ඔබගේ ඇදහිල්ල තුළ ඔබ ධෛර්යවත් කර, ස්ථිරව සිටුවන්නට ය.</verse>
				<verse number="3">එසේ කළේ, ඔබ කිසිවකුත් මෙම දුක්-පීඩාවලින් චංචල නො වන පිණිස ය. ඒ දුක් පීඩා අපට නියමව තිබෙන වග ඔබ දන්නහු ය.</verse>
				<verse number="4">හිංසා පීඩාවනට අප ගොදුරු වන වග අප ඔබ සමඟ සිටියදී නිති ඔබට පැවසීමු. ඔබ දන්නා පරිදි දැන් සිදුව ඇත්තේ එයම ය.</verse>
				<verse number="5">මේ හේතුව නිසා තවදුරටත් මෙය දරා සිටිය නො හැකි වූ කල්හි, ඔබගේ ඇදහිල්ල පිළිබඳ තතු විමසා බැලීමට මම තිමෝති පිටත් කර එව්වෙමි. ඒ, පරීක්ෂාකාරයා යම් ලෙසකින් ඔබ පරීක්ෂාවක හෙළා, ඔබ උදෙසා අප දැරූ වෙහෙස අපතේ යාදෝයි මා තැති ගත් නිසා ය.</verse>
				<verse number="6">කෙසේ වෙතත් ඔබගේ ඇදහිල්ලත්, ඔබගේ ප්‍රේමයත් ගැන සුපුවත් ගෙන තිමෝති දැන් අප වෙත අවුත් සිටී. ඔබ නිබඳව සතුටු සිතින් අප සිහි කරන බවත්, ඔබ දැකුමට අප මහත් ආශාවෙන් සිටින සේ ම, අප දැකුමට ඔබත් දැඩි ආශාවෙන් සිටින බවත්, ඔහු අපට පැවසී ය.</verse>
				<verse number="7">එබැවින් සහෝදරයිනි, සියලු ආපදා හා හිංසන මැදදීත් අපි, ඔබගේ ඇදහිල්ල නිසා ඔබගෙන් ධෛර්යය ලැබ සිටින්නෙමු.</verse>
				<verse number="8">ස්වාමින්වහන්සේ තුළ ඔබ ස්ථිරව පිහිටා සිටීම අපට සැබවින් ම ජීවනයයි.</verse>
				<verse number="9">ඔබ නිසා අපගේ දෙවියන්වහන්සේ ඉදිරියේ අප ලද සකල ප්‍රීතිය නිමිත්තෙන් ඔබ ගැන කෙලෙස නම් අපි දෙවියන්වහන්සේට ස්තුති කරන්න ද?</verse>
				<verse number="10">යළිත් අපට ඔබේ මුහුණ දකිනු හැකි වන පිණිසත්, ඇදහිල්ලේ ඔබගේ ඌනතා සපිරෙනු පිණිසත් අපි, දිවා රෑ දෙක්හි ඉමහත් උනන්දුවෙන් ඔබ ගැන යාච්ඤා කරන්නෙමු.</verse>
				<verse number="11">අපගේ දෙවියන්වහන්සේ වන පියාණන්වහන්සේ හා අප ස්වාමින්වහන්සේ වන යේසුස්වහන්සේ, ඔබ වෙත ඒමට අපට මඟ සලසා දෙන සේක්වා!</verse>
				<verse number="12">ඔබ වෙත ඇති අපගේ ප්‍රේමය යම් සේ ද, එලෙස ඔබගේ ප්‍රේමයත් ඔබ එකිනෙකා කෙරෙහි හා අන් සැම කෙරෙහි වැඩි වී පිරී ඉතිරී යන්නට ස්වාමින්වහන්සේ මඟ සලසන සේක්වා!</verse>
				<verse number="13">එසේ අප ස්වාමින්වහන්සේ වන යේසුස්වහන්සේ, උන්වහන්සේගේ සියලු ශුද්ධවන්තයින් සමඟ එන කල, අපගේ දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේ අබියස ඔබ ශුද්ධත්වය තුළ දෝෂ රහිතව සිටින පිණිස, උන්වහන්සේ ඔබේ හදවත් ශක්තිමත් කරන සේක්වා!</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">අවසන් වශයෙන් සහෝදරයිනි, දෙවියන්වහන්සේට ප්‍රසන්න අයුරින් ජීවත් විය යුත්තේ කෙසේදැයි අපි ඔබට උපදෙස් දුනිමු; සැබවින් ම ඔබ ජීවත් වන්නේ එලෙස ය. යේසුස් ස්වාමින්වහන්සේ තුළ අප දැන් ඔබෙන් ඉල්ලා සිටින්නේ, උදක්ම කියා සිටින්නේ වඩ වඩාත් එසේ කරන ලෙසයි.</verse>
				<verse number="2">යේසුස් ස්වාමින්වහන්සේගේ ආධිපත්‍යය යටතේ අප ඔබට දුන් ආඥා කවරේ ද කියා ඔබ දන්නහු ය.</verse>
				<verse number="3">දෙවියන්වහන්සේගේ කැමැත්ත ඔබ ශුද්ධව සිටීමයි; ලිංගික දුරාචාරයෙන් වැළකී සිටීමයි.</verse>
				<verse number="4">ඔබ හැම කෙනකුම ශුද්ධවූත්, ගෞරවණීයවූත් අයුරින් තමාගේ සිරුර පාලනය කර ගැන්මට උගත යුත්තේ,</verse>
				<verse number="5">දෙවියන්වහන්සේ නො හඳුනන අන්‍ය-ජාතීන් මෙන් කාම තෘෂ්ණාවේ නො ගැලීමෙනි.</verse>
				<verse number="6">මේ සම්බන්ධව කිසිවකු තම සහෝදරයා රවටා, වාසියක් ලබා නො ගත යුතු ය. අප ඔබට පවසා ඇති පරිදි, අප ඔබට අවවාද දී ඇති පරිදි ඒවාට ස්වාමින්වහන්සේ පළිය ගන්නා සේක.</verse>
				<verse number="7">මන්ද දෙවියන්වහන්සේ අප කැඳවා ඇත්තේ අපවිත්‍රකමට නො ව ශුද්ධකමට ය.</verse>
				<verse number="8">එබැවින් මේ උපදෙස් ප්‍රතික්ෂේප කරන කවරකු වුව ප්‍රතික්ෂේප කරන්නේ මිනිසකු නො ව, ඔබට ස්වකීය ශුද්ධාත්මයාණන් දෙන දෙවියන්වහන්සේ ය.</verse>
				<verse number="9">සහෝදර ප්‍රේමය ගැන නම් ඔබට ලිවීම අවශ්‍ය නැත. මන්ද එකිනෙකාට ප්‍රේම කිරීමට ඔබම දෙවියන්වහන්සේගෙන් උගෙන ඇති බැවිනි.</verse>
				<verse number="10">සැබවින් ම ඔබ මකිදෝනියෙහි සමස්ත සහෝදරයිනට ප්‍රේම කරනවා වුව ද, වඩ වඩාත් එසේ කරන ලෙස අපි උදක්ම ඉල්ලන්නෙමු.</verse>
				<verse number="11">අප ඔබට පැවසූ පරිදි නිසංසල ජීවිතයක් ගත කිරීමත්, තමන්ගේ වැඩ බලාගැනීමත්, ඔබේම දෑත වෙහෙසා වැඩ කිරීමත් ඔබේ අභිලාෂය කරගන්න.</verse>
				<verse number="12">එසේ වූ කල, ඔබගේ ජීවන රටාව, පිටස්තර අයගේ ගරුත්වය දිනාගනු ඇත. ඔබ අනුන්ගේ පිහිටෙන් යැපෙන්නකු ද නො වනු ඇත.</verse>
				<verse number="13">සහෝදරයිනි, සැතපී සිටින්නන් ගැන ඔබ නො දැන සිටීම අපගේ කැමැත්ත නො වේ. බලාපොරොත්තුවක් නැති සෙසු ලෝකයා මෙන්, ඔවුන් ගැන ඔබ ශෝක නො විය යුතු ය.</verse>
				<verse number="14">යේසුස්වහන්සේ මැරුණු බවත්, යළි නැගුටුණු බවත් අප විශ්වාස කරන ලෙසම උන්වහන්සේ තුළ සැතපුණු අය දෙවියන්වහන්සේ, යේසුස්වහන්සේ සමඟ ගෙන එනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.</verse>
				<verse number="15">ස්වාමින්වහන්සේගේම වචනවලට අනුව අප ඔබට කියන්නේ, ස්වාමින්වහන්සේගේ පැමිණීම තෙක් ඉතිරිව ජීවත්ව සිටින අප, සැතපුණු අයට වඩා කිසි සේත් ඉස්සර නො වන බවයි.</verse>
				<verse number="16">මන්ද මහ හඬින් විධානයක් ද අග්‍ර දේව දූතයාගේ කටහඬ ද දෙවියන්වහන්සේගේ හොරණෑ ඇමතුම් හඬ ද සමඟින් ස්වාමින්වහන්සේම ස්වර්ගයෙන් බැස එන සේක. එකල, ක්‍රිස්තුස්වහන්සේ තුළ මළාහු පළමු කොට නැගිටිති.</verse>
				<verse number="17">එවිට, තවමත් ඉතිරිව ජීවත්ව සිටින අපි අහසේදී ස්වාමින්වහන්සේ මුණ ගැසෙනු පිණිස ඔවුන් වෙත වලාකුළු තුළට ඔසොවාගනු ලබන්නෙමු. මෙසේ අපි සදහට ම ස්වාමින්වහන්සේ සමඟ සිටින්නෙමු.</verse>
				<verse number="18">එබැවින් මෙවදන්වලින් එකිනෙකා දිරි ගන්වන්න.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">තවද සහෝදරයිනි, කාල හා දින වකවානු ගැන ඔබට ලිවීම අවශ්‍ය නො වේ.</verse>
				<verse number="2">මන්ද ස්වාමින්වහන්සේගේ දවස රැයෙහි එන සොරෙකු මෙන් අනපේක්ෂිතව පැමිණෙන බැව් ඔබ හොඳ හැටි දන්නා නිසා ය.</verse>
				<verse number="3">දැන් සාමකාමී ය, සුරක්ෂිතයයි මිනිසුන් කියන කල, ගැබිණියකට ප්‍රසව වේදනා හටගන්නා සේ හදිසියේම විනාශය ඔවුන් කරා පැමිණෙනු ඇත. ඔවුන් එයින් කිසි සේත් ගැලවෙන්නේ නැත.</verse>
				<verse number="4">එහෙත් සහෝදරයිනි, ඒ දවස සොරෙකු මෙන් ඔබ පුදුම කරන්නට, ඔබ සිටින්නේ අඳුරේ නො වේ.</verse>
				<verse number="5">ඔබ හැමදෙනා ආලෝකයේ පුත්‍රයෝ ය; දහවලේ පුත්‍රයෝ ය. රාත්‍රියටවත්, අන්ධකාරයටවත් අප අයිති නැත.</verse>
				<verse number="6">එබැවින් සෙස්සන් මෙන් නිදා සිටින්නන් නො වන්නට වගබලා ගනිමු; නිබඳ සෝදිසියෙන් හා සිහි කල්පනාවෙන් යුතුව සිටිමු.</verse>
				<verse number="7">නිදන්නන් නින්දට පත් වන්නේ රැයේ ය. මත්පැන් බොන්නන් මත් වන්නේ ද රැයේ ය.</verse>
				<verse number="8">එහෙත් අප දවාලට අයිති බැවින්, ආරක්ෂක ළය වැස්මක් ලෙස ඇදහිල්ල හා ප්‍රේමය ද ආරක්ෂක හිස්-වැස්මක් ලෙස ගැලවීමේ බලාපොරොත්තුව ද පැලඳ සිහි කල්පනාවෙන් යුතුව සිටිමු.</verse>
				<verse number="9">මන්ද දෙවියන්වහන්සේ අප උදෙසා පෙර-නියම කර ඇත්තේ උදහස නො ව, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ තුළින් ගැලවීම ලැබීම ය.</verse>
				<verse number="10">අප පිබිද සිටියත්, නිදා සිටියත් ක්‍රිස්තුස්වහන්සේ හා එක්ව අප වෙසෙන පිණිස උන්වහන්සේ අප උදෙසා මැරුණු සේක.</verse>
				<verse number="11">එබැවින් දැනටමත් ඔබ කරන්නාක් මෙන් එකිනෙකා දිරි ගන්වන්න; එකිනෙකා වර්ධනය කරගන්න.</verse>
				<verse number="12">සහෝදරයිනි, ඔබ අතරේ සිටින, වෙහෙසී වැඩ කරන, ඔබට දැනමුතුකම් දෙන, ස්වාමින්වහන්සේ තුළ ඔබේ නායකයින්ට ගෞරව කරන්නැයි අපි ඔබෙන් ඉල්ලන්නෙමු.</verse>
				<verse number="13">ඔවුන් කරන සේවය නිසා ප්‍රේමයෙන් යුතුව ඔවුන් ඉතා උසස් කොට සලකන්න. එකිනෙකා හා සාමයෙන් ජීවත් වන්න.</verse>
				<verse number="14">සහෝදරයිනි, අලස වූවන්ට අවවාද කරන ලෙසත්, බියසුළුවූවන් දිරි ගන්වන ලෙසත්, දුබලවූවන්ට ආධාර කරන ලෙසත්, හැම කෙනකු සමඟම ඉවසිල්ලෙන් කටයුතු කරන ලෙසත් අපි ඔබෙන් උදක්ම ඉල්ලන්නෙමු.</verse>
				<verse number="15">කිසිවකුටත් නපුරට නපුරක් නො කිරීමට වගබලා ගන්න. ඒ වෙනුවට එකිනෙකාටත්, හැම දෙනාටත් හොඳක් කිරීමට හැම විට උත්සාහ ගන්න.</verse>
				<verse number="16">හැම විට ප්‍රීතියෙන් සිටින්න;</verse>
				<verse number="17">නොකඩව යාච්ඤාවේ යෙදෙන්න.</verse>
				<verse number="18">සෑම සියල්ලේදී ස්තුති දෙන්න. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබ උදෙසා දෙවියන්වහන්සේගේ කැමැත්ත එයයි.</verse>
				<verse number="19">ආත්මයාණන්වහන්සේගේ දැල්වීම නො නිවාලන්න.</verse>
				<verse number="20">දිවැස් වැකි පැවසීම සුළු නො කරන්න.</verse>
				<verse number="21">ඒ හැම දේ විමසා බලා, හොඳ දේ වැලඳගන්න.</verse>
				<verse number="22">හැම අයුරක නපුරෙන් වළකින්න.</verse>
				<verse number="23">සාමයේ දෙවියන්වහන්සේම, ඔබ මුළුමනින් පවිත්‍ර කරන සේක්වා! යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ ආගමනයේදී ඔබගේ මුළු ආත්මයත්, ජීවයත්, ශරීරයත් දෝෂ රහිතව තබනු ලැබේවා!</verse>
				<verse number="24">ඔබ කැඳවන තැනැන්වහන්සේ විශ්වාසනීය ය. උන්වහන්සේ එය ඉටු කරන සේක.</verse>
				<verse number="25">සහෝදරයිනි, අප උදෙසා යාච්ඤා කරන්න.</verse>
				<verse number="26">සියලු සහෝදරයින්ට ශුද්ධ සිපාචාරයකින් සමාචාර කරන්න.</verse>
				<verse number="27">මෙම ලිපිය සියලු සහෝදරයින්ට කියවන්නට සලස්වන මෙන් ස්වාමින්වහන්සේ ඉදිරියෙහි මම ඔබට නියෝග කරමි.</verse>
				<verse number="28">යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබ සමඟ පවතීවා!</verse>
			</chapter>
		</book>
		<book number="53">
			<chapter number="1">
				<verse number="1">පාවුල්, සිල්වානස් හා තිමෝති වෙතින්, අපගේ පියාණන් වූ දෙවියන්වහන්සේ ද යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ ද තුළ වූ තෙසලෝනිවරුන්ගේ සභාව වෙත ය:</verse>
				<verse number="2">අපගේ පියාණන් වූ දෙවියන්වහන්සේගෙන් ද යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගෙන් ද ඔබට අනුග්‍රහයත්, සාමයත් අත් වේවා!</verse>
				<verse number="3">සහෝදරයිනි, ඔබගේ ඇදහිල්ල වඩා බහුලව වර්ධනය වෙමින් පවත්නා නිසාත්, ඔබ හැම කෙනකු එකිනෙකා කෙරේ දක්වන ප්‍රේමය වැඩෙමින් පවත්නා නිසාත්, ඔබ ගැන නිබඳව දෙවියන්වහන්සේට ස්තුති දීම අපගේ යුතුකමකි; කළ යුත්තකි.</verse>
				<verse number="4">එබැවින් ඔබ ඉවසා දරා සිටින සියලු පීඩා හා කරදර මැද ද ඔබගේ ස්ථිරකමත්, ඇදහිල්ලත් ගැන දෙවියන්වහන්සේගේ සභා අතරේ අපි පාරට්ටු කරන්නෙමු.</verse>
				<verse number="5">දෙවියන්වහන්සේගේ විනිශ්චය යුක්ති සහගත බවට මේ සියල්ල ඔප්පු සාධක වෙයි. මෙහි ප්‍රතිඵලය නම් ඔබ දෙවියන්වහන්සේගේ රාජ්‍යය උදෙසා දුක් ඉසිලීමෙන්, ඒ රාජ්‍යයට සුදුස්සන් සේ ගණන් ගනු ලැබීම ය.</verse>
				<verse number="6">දෙවියන්වහන්සේ සාධාරණ ය; ඔබට දුක් පීඩා කළවුන්ට උන්වහන්සේ දුක් පීඩා පමුණුවන සේක.</verse>
				<verse number="7">තවද දැන් පීඩා විඳින ඔබට මෙන්ම අපට ද උන්වහන්සේ සහනය සලසන සේක. මෙය සිදුවන්නේ යේසුස් ස්වාමින්වහන්සේ තම බලගතු දේව දූතයින් සමඟ ඇවිළෙන ගිනි ජාලාවකින් යුතුව ස්වර්ගයෙන් ප්‍රකාශ වන කල්හි ය.</verse>
				<verse number="8">එකල දෙවියන්වහන්සේ නො හඳුනන්නන්ට හා යේසුස් අප ස්වාමින්වහන්සේගේ ශුභාරංචියට කීකරු නො වන්නන්ට දඬුවම් කරන සේක.</verse>
				<verse number="9">ඔවුහු සදාතන විනාශයේ දඬුවම් ලැබ, ස්වාමින්වහන්සේගේ අභිමුඛයෙන් හා උන්වහන්සේගේ පරාක්‍රමවත් තේජස ඉදිරියෙන් නෙරපා දමනු ලබන්නේ,</verse>
				<verse number="10">ස්වකීය ශුද්ධවන්තයින් තුළ ගෞරව මහිම ලැබීමටත්, අපේ සාක්ෂිය විශ්වාස කළ ඔබ ඇතුළු ඇදහිලිවත් සියල්ලන් අතරේ විස්මයක් ඇති කිරීමටත් ස්වාමින්වහන්සේ ආපසු පැමිණෙන දවසේ ය.</verse>
				<verse number="11">මෙය සිත්හි තබාගෙන, ඔබ උදෙසා දිගටම අප යාච්ඤා කරන්නේ, තමන්වහන්සේගේ කැඳවීමට ඔබ සුදුස්සන් බවට අපේ දෙවියන්වහන්සේ විසින් ගණන් ගනු ලබන පිණිසත්, ඔබගේ යහ-අරමුණු හැමකක් හා ඔබගේ ඇදහිල්ලෙන් පැන නගින හැම ක්‍රියාවක්, දෙවියන්වහන්සේ විසින් ස්වකීය බලයෙන් සම්පූර්ණ කරනු ලබන පිණිසත් ය.</verse>
				<verse number="12">අප එසේ යාච්ඤා කරන්නේ, අපගේ දෙවියන්වහන්සේගේ ද යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගේ ද අනුග්‍රහ ප්‍රකාර යේසුස් අප ස්වාමින්වහන්සේගේ නාමය ඔබ තුළත්, ඔබ උන්වහන්සේ තුළත් තේජසට පැමිණෙන පිණිස ය.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ ආගමනයත්, උන්වහන්සේ වෙතට අප එක්රැස් කරවීමත් පිළිබඳව සහෝදරයිනි, අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ,</verse>
				<verse number="2">ස්වාමින්වහන්සේගේ දවස දැනටම පැමිණ ඇතැයි දන්වමින්, යම් දිවැසි වැකියකින්, යම් පණිවුඩයකින් හෝ අප වෙතින් ආවේ යැයි කියන යම් ලිපියකින් හෝ වහා සසල නො වන ලෙසත්, තැති නො ගන්නා ලෙසත් ය.</verse>
				<verse number="3">කිසි ලෙසකින් ඔබ රවටන්නට කිසිවකුට ඉඩ නො දෙන්න. පළමුව මහා විරෝධයත්, නොපනත්කමේ මිනිසා හෙවත් විනාශයේ පුත්‍රයා ප්‍රකාශ වීමත් සිදුවන තුරු, ඒ දවස පැමිණෙන්නේ නැත.</verse>
				<verse number="4">දෙවියන් යයි කියනු ලබන හැමට හා නමස්කාර කරනු ලබන හැම දේට එරෙහිව ඔහු තමාම උසස් කර ගනිමින්, දෙවියන්වහන්සේගේ මාලිගයේ අසුන් ගන්නේ තමා දෙවියන් යයි කියා පාමිනි.</verse>
				<verse number="5">මා ඔබ සමඟ සිටියදී මේ කරුණු මා ඔබට කී වග අමතක ද?</verse>
				<verse number="6">නිසි කල්හි ඔහු එළිදරවු කරනු ලබන පිණිස දැන් ඔහු වළක්වාගෙන සිටින්නේ කිමෙක්දැයි ඔබ දනිති.</verse>
				<verse number="7">මන්ද නොපනත්කමේ අබිරහස් බලය දැනටම ක්‍රියාත්මක ය; එහෙත් දැනට එය වළක්වාගෙන සිටින තැනැත්තාණන් ඉවත ගෙන යන තෙක් දිගටම එසේ කරනු ඇත.</verse>
				<verse number="8">නොපනත්කමේ මිනිසා එළිදරවු කරනු ලබන්නේ ඉන්පසුව ය; යේසුස් ස්වාමින්වහන්සේ සිය මුවෙහි හුස්මෙන් ඔහු නසා හෙළා, ස්වකීය ආගමනයේ තේජසින් ඔහු වනසනු ඇත.</verse>
				<verse number="9">නොපනත්කාමියාගේ පැමිණීම, සාතන්ගේ ක්‍රියාකාරී බලයට අනුව සියලු විධ කූට හාස්කම්, අනුහස් ලකුණු හා අරුම පුදුම මඟින් දැක් වේ.</verse>
				<verse number="10">හැම අයුරක දුෂ්ටකම් මඟින් ඔහු විනාශවන්නන් මුළා කරනු ඇත. එසේ විනාශ වන්නේ සත්‍යයට ප්‍රේම කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් ඔවුන් ගැලවීම නො ලද බැවිනි.</verse>
				<verse number="11">ඒ හේතුව නිසා දෙවියන්වහන්සේ බලගතු මුළාවක් ඔවුන් වෙත එවන්නේ, ඔවුන් මුසාව විශ්වාස කරන පිණිසත්,</verse>
				<verse number="12">සත්‍යය විශ්වාස නො කොට අධර්මිෂ්ඨකම තුළ සතුටු වූ සියල්ලන් දඬුවමට පත් කරන පිණිසත් ය.</verse>
				<verse number="13">ස්වාමින්වහන්සේගේ ප්‍රේමයට පාත්‍ර වූ සහෝදරයිනි, ආත්මයාණන්වහන්සේගේ පවිත්‍ර කිරීමේ කාරිය තුළින් හා සත්‍යය ඇදහීම තුළින් ගැලවීම ලබන පිණිස, පටන්ගැන්මේ සිට දෙවියන්වහන්සේ ඔබ තෝරා ගෙන ඇති බැවින්, ඔබ ගැන දෙවියන්වහන්සේට නිබඳව ස්තුති දීම අප විසින් කළ යුත්තකි.</verse>
				<verse number="14">අපගේ ශුභාරංචිය මඟින් දෙවියන්වහන්සේ ඊට ඔබ කැඳවූයේ යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය ඔබත් අත්කර ගන්නා පිණිස ය.</verse>
				<verse number="15">එබැවින් සහෝදරයිනි, කට වචනයෙන් හෝ ලිපි මඟින් හෝ අප ඔබට ඉගැන්වූ ඉගැන්වීම් තුළ ස්ථිරව පැවත සිටින්න. ඒවා තරකොට අල්ලා ගන්න.</verse>
				<verse number="16">යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ ද අපට ප්‍රේම කොට ස්වකීය අනුග්‍රහයෙන් සදාතන ධෛර්යයත්, යහ බලාපොරොත්තුවත් අපට දුන් අපගේ පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ද</verse>
				<verse number="17">ඔබගේ හදවත් ධෛර්යවත් කරන සේක්වා! සියලු යහ වැඩෙහි හා කතාවෙහි ඔබ ශක්තිමත් කරන සේක්වා!</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">අවසන් වශයෙන් සහෝදරයිනි, ස්වාමින්වහන්සේගේ වචනය ඔබ අතරේ මෙන් සීඝ්‍රයෙන් පැතිරෙනු සඳහාත්, ගෞරවයට පාත්‍ර වනු සඳහාත් අප උදෙසා යාච්ඤා කරන්න.</verse>
				<verse number="2">දුෂ්ට, නපුරු මිනිසුන්ගෙන් අප මුදනු සඳහාත් යාච්ඤා කරන්න. මන්ද හැම කෙනකුටම ඇදහිල්ල නැත.</verse>
				<verse number="3">එහෙත් ස්වාමින්වහන්සේ විශ්වාසවන්තව සිටින සේක. උන්වහන්සේ ඔබ ශක්තිමත් කර, නපුරාගෙන් ඔබ ආරක්ෂා කරන සේක.</verse>
				<verse number="4">අප ඔබට අණ කළ දෑ ඔබ ඉටු කරන බවටත්, දිගටම එසේ කරගෙන යන බවටත් ඔබ ගැන ස්වාමින්වහන්සේ තුළ අපට විශ්වාසය තිබේ.</verse>
				<verse number="5">දෙවියන්වහන්සේගේ ප්‍රේමයටත්, ක්‍රිස්තුස්වහන්සේගේ ස්ථිරත්වයටත් ස්වාමින්වහන්සේ ඔබ හදවත් යොමු කරන සේක්වා!</verse>
				<verse number="6">සහෝදරයිනි, අප ඔබට බාර දුන් ඉගැන්වීම්වලට අනුව නො පවතින, අලස-නො හික්මුණු සහෝදරයින් හැමගෙන් ඈත්වන මෙන් යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගේ නාමයෙන් අපි ඔබට අණ කරන්නෙමු.</verse>
				<verse number="7">ඔබ අපගේ ආදර්ශය අනුගමන කළ යුත්තේ කෙසේදැයි ඔබ හොඳින් දන්නහු ය. ඔබ හා සිටියදී අප අලසව සිටියේ නැත.</verse>
				<verse number="8">නොමිලයේ අනෙකකුගෙන් අහර ගත්තේ ද නැත. අනෙක් අතට, ඔබ කිසිවකුටත් අප බරක් නො වන පිණිස දිවා රෑ දෙක්හි වෙහෙසව, මහන්සිව වැඩ කළෙමු.</verse>
				<verse number="9">එසේ කළේ, එවන් උදවු ලැබීමේ අයිතිය අපට නො තිබූ නිසා නො ව ඔබට අනුගමන කිරීමට අපම ආදර්ශයක් වන පිණිස ය.</verse>
				<verse number="10">මන්ද: “වැඩ කරන්නට අකමැත්තෝ අහර අනුභව නො කරත්වා!” යන නියෝගයක් ද අපි ඔබ හා සිටියදී දුන්නෙමු.</verse>
				<verse number="11">ඔබ අතරේ ඇතමුන් අලසව නො හික්මුණු අයුරින් හැසිරෙන වග අපට අසන්නට ලැබේ. ඔවුහු කිසි වැඩක නො යෙදෙති; අනුන්ගේ වැඩට ඇඟිලි ගසති.</verse>
				<verse number="12">සන්සුන් ලෙස කිසියම් වැඩක යෙදී තම ජීවිකාව සඳහා තමන්ම උපයා ගන්නා ලෙස, යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ තුළ අපි එවැන්නන්ට අණ කරමින් ධෛර්යය දෙන්නෙමු.</verse>
				<verse number="13">සහෝදරවරුනි, යහපත් දේ කිරීමෙහි කිසි විටෙක පසුබට නො වන්න.</verse>
				<verse number="14">මෙම ලිපියෙන් අප දෙන උපදෙස්වලට යමකු කීකරු වන්නේ නැතිනම්, එවන් තැනැත්තේ හඳුනාගෙන, ඔහු ලජ්ජාවට පත් වන පිණිස, ඔහු හා ඇසුරින් ඈත් වන්න.</verse>
				<verse number="15">එහෙත් ඔහු සතුරකු සේ නො සලකන්න. සහෝදරයකු සේ ඔහුට අවවාද කරන්න.</verse>
				<verse number="16">සාමයේ ස්වාමින්වහන්සේම හැම කල, හැම අයුරු ඔබට සාමය සලසන සේක්වා! ස්වාමින්වහන්සේ ඔබ සියල්ලන් සමඟ වන සේක්වා!</verse>
				<verse number="17">පාවුල් වන මම මගේම අත් අකුරින් මෙසේ ඔබට ආචාර කරමි. මගේ හැම ලිපියකම විශේෂ ලක්ෂණය මෙයයි; ඒ මා ලියන හැටියි.</verse>
				<verse number="18">යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබ හැම සමඟින් වේවා!</verse>
			</chapter>
		</book>
		<book number="54">
			<chapter number="1">
				<verse number="1">අපගේ ගැලවුම්කරුවාණන් වන දෙවියන්වහන්සේගේ හා අපගේ බලාපොරොත්තුව වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ නියෝගයෙන්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වූ පාවුල් වෙතින්,</verse>
				<verse number="2">ඇදහිල්ලේ මගේ සැබෑ දරුවා වන තිමෝති වෙතයි: පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගෙන් හා අප ස්වාමින්වහන්සේ වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගෙන් ඔබට අනුග්‍රහයත්, දයාවත්, සාමයත් වේවා!</verse>
				<verse number="3">මකිදෝනියාව බලා මා පිටත්ව යන කල, මා උදක්ම ඔබෙන් ඉල්ලා සිටියේ, එපීසයේ නැවතී සිට, අමුතු මත වාද නූගන්වන ලෙස ඇතමුනට අණ කරන්නටත්,</verse>
				<verse number="4">මිථ්‍යා හා කෙළවරක් නැති පරම්පරා කතාවල නො ගැලෙන ලෙස අණ කරන්නටත් ය. ඒවායින් වන්නේ ඇදහිල්ලෙන් එන දෙවියන්වහන්සේ වෙතින් වූ සැලැස්ම වෙනුවට මත භේදයට තුඩු දෙන අදහස් උස්සා තැබීම ය.</verse>
				<verse number="5">ඒ ලෙස අණ කිරීමේ අරමුණ පිරිසිදු හදෙකින්, යහපත් හෘදය සාක්ෂියකින් හා අවංක ඇදහිල්ලෙන් පැන නඟිනා ප්‍රේමයයි.</verse>
				<verse number="6">ඇතමුන් මෙයින් පිට පැන නිෂ්ඵල කතාවට හැරී ගොස් ඇත්තේ,</verse>
				<verse number="7">දහම් ගුරුන් වීමේ ආශාවෙනි; තමන් පවසන්නේ කුමක් ද, තමන් සහතිකයෙන් කියන්නේ කවරක් ද යන්න ගැන වැටහීමක් ඔවුන්ට නැත.</verse>
				<verse number="8">කෙනකු නිත්‍යානුකූලව භාවිතා කරන්නේ නම්, දහම් නීතිය හොඳ බැව් අපි දනිමු.</verse>
				<verse number="9">අප දැනගත යුත්තේ, නීති පනවා ඇත්තේ ධර්මිෂ්ඨයින් සඳහා නො වන බව ය. ඒවා දාමරිකයින්, අකීකරුවන්නන්, අභක්තිකයින් හා පව්කරුවන් ද අශුද්ධයින් හා දුශ්ශීලයින්, පීතෘ හෝ මාතෘ ඝාතකයින් හා මිනීමරුවන් ද</verse>
				<verse number="10">පරදාර සේවනයේ හා සමලිංගික සේවනයේ යෙදෙන්නන් ද වහල් වෙළඳාමට මිනිසුන් පැහැරගන්නන්, බොරුකාරයන්, බොරුවට දිවුරන්නන් හා සාර දහමට පටහැනිව කවර දේ වුව කරන්නන් ද සඳහා ය.</verse>
				<verse number="11">මෙම සාර දහම, භාග්‍යවත් දෙවියන්වහන්සේගේ තේජාන්විත ශුභාරංචියට අනුකූලව උන්වහන්සේ විසින්ම මට බාර දෙන ලද ඉගැන්වීම් ය.</verse>
				<verse number="12">මට ශක්තිය දුන් අප ස්වාමින්වහන්සේ වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේට මම ස්තුති කරමි. මන්ද උන්වහන්සේ ස්වකීය සේවයට මා පත් කර ගැනීමෙන්, මා විශ්වාසවන්තයෙකැයි ගණන් ගෙන ඇත්තේ,</verse>
				<verse number="13">ඉහතදී මා උන්වහන්සේට එරෙහි දේවාපහාසිකයකු, හිංසකයකු හා සැහැසි විරුද්ධවාදියකුව සිටියදී ය; එහෙත්, එකල මා ක්‍රියා කළේ නො දැනුවත්කමින් හා මිථ්‍යා දෘෂ්ටිකව බැවින් මම දයාව ලදිමි.</verse>
				<verse number="14">ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහිල්ල හා ප්‍රේමය සමඟ මා උදෙසා වූ අප ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය පිටාර ගැලී ය.</verse>
				<verse number="15">විශ්වාසනීයවූත්, මුළුමනින් පිළිගැනීමට යෝග්‍යවූත් කියමනකි: පව්කරුවන් ගලවන්නට ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ලෝකයට පැමිණි සේක යන්න. ඔවුන්ගෙන් ලොකුම පව්කරුවා මා ය.</verse>
				<verse number="16">මා දයාව ලද්දේ මේ හේතුවෙනි; සදාතන ජීවනය සඳහා උන්වහන්සේ තුළ විශ්වාස කරන්නට සිටින්නවුනට ආදර්ශයක් වශයෙන්, ලොකුම පව්කරුවා වන මා තුළ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ සම්පූර්ණ ඉවසීම ප්‍රදර්ශනය කරන පිණිස ය.</verse>
				<verse number="17">අජරාමර, අදෘශ්‍යමාන, එකම දෙවියන්වහන්සේ වූ සදාතනික රජතුමන්හට සදහට ම, ගෞරවයත්, මහිමයත් වේවා! ආමෙන්.</verse>
				<verse number="18">තිමෝති මා දරුව, වරක් ඔබ ගැන පැවසුණු දිවැසි වැකිවලට අනුකූලව මේ අණ මා ඔබට දෙන්නේ, ඒ අනුව යමින්, යහපත් යුද්ධයේ සටන් වැදීම පිණිස ය.</verse>
				<verse number="19">එසේ කළ යුත්තේ ඇදහිල්ලෙන් හා පවිත්‍ර හෘදය සාක්ෂියකින් යුතුව ය. එය ප්‍රතික්ෂේප කිරීමෙන් ඇතැම්හු තම ඇදහිල්ලේ නැව මුහුදුබත් කර ගත්හ.</verse>
				<verse number="20">හිමේනියස් හා ඇලෙක්සැන්ඩර් ඉන් දෙදෙනෙකි. දේවාපහාස නො කිරීමට ඉගෙන ගන්නා පිණිස, මම ඔවුන් සාතන්ට බාර දුනිමි.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">සියල්ලට පළමු උදක්ම මා කියා සිටින්නේ, ඉල්ලීම්, යාච්ඤා, මැදහත්කම් හා ස්තුති දීම් සියලු දෙනා උදෙසා කරන ලෙසයි.</verse>
				<verse number="2">හැම අතින්ම භක්තියෙන් හා ගෞරවයෙන් යුතුව සාමකාමී, නිසසල ජීවිතයක් ගත කරන පිණිස, රජුන් හා උසස් තනතුරු දරන සියල්ලන් උදෙසා එසේ කරන්න.</verse>
				<verse number="3">එය යහපත් ය; අප ගැලවුම්කාර දෙවියන්වහන්සේ හමුවේ ප්‍රසන්න ය.</verse>
				<verse number="4">සියලු ජනයා ගැලවීමත්, සත්‍යය දැනගැනීමට පැමිණීමත් උන්වහන්සේගේ කැමැත්ත ය.</verse>
				<verse number="5">මන්ද සිටින්නේ එක දෙවියන්වහන්සේ හා දෙවියන්වහන්සේත් මිනිසුනුත් අතර එක මැදහත්කරුවාණන් වන මිනිසා වූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේත් ය.</verse>
				<verse number="6">එයට නියමිත කාලයේ වූ සාක්ෂිය වශයෙන්, උන්වහන්සේ සියල්ලන් උදෙසා මිදීමේ මිලයක්ව තමන්ම කැප කළ සේක.</verse>
				<verse number="7">දේශකයකු හා අපෝස්තුලුවරයකු ලෙස හා අන්‍ය-ජාතීන් උදෙසා ඇදහිල්ලේ හා සත්‍යයේ ගුරුවරයකු ලෙස මා පත් කරනු ලැබ ඇත්තේ ඒ සඳහා ය. මා කියන්නේ ඇත්ත ය; මා බොරු කියන්නේ නැත.</verse>
				<verse number="8">එබැවින් හැම තැනක පුරුෂයින් තරහ හා කළහ නැතිව, යාච්ඤාවේදී ශුද්ධ අත් එසවීම මගේ කැමැත්ත ය.</verse>
				<verse number="9">එලෙස ස්ත්‍රීන් කොණ්ඩා මෝස්තර, රන්, මුතු හෝ අගනා සළු-පිළිවලින් නො ව විනීතව, සංයමයෙන් යුතුව ශිෂ්ට ඇඳුමින් සැරසී සිටීම මාගේ කැමැත්තයි.</verse>
				<verse number="10">භක්තිවන්ත ස්ත්‍රීන්ට යෝග්‍ය සත් ක්‍රියා ය.</verse>
				<verse number="11">ස්ත්‍රිය නිහඬතාවයෙන් හා පූර්ණ යටහත් භාවයෙන් ඉගෙන ගනීවා.</verse>
				<verse number="12">ඉගැන්වීමට හෝ පුරුෂයකු කෙරේ ආධිපත්‍යය දැරීමට ස්ත්‍රියකට මා අවසර දෙන්නේ නැත. ඇය නිශ්ශබ්දව සිටිය යුතු ය.</verse>
				<verse number="13">මන්ද මුලින්ම නිම වන ලද්දේ ආදම් ය; ඒව, ඉන්පසුව ය.</verse>
				<verse number="14">ආදම් රැවටුණේ නැත; රවටනු ලැබ, පවට වැටුණේ ස්ත්‍රියයි;</verse>
				<verse number="15">එහෙත්, සංයමයෙන් යුතුව ඇදහිල්ලෙන්, ප්‍රේමයෙන් හා ශුද්ධකමින් පැවත සිටිනවා නම්, දරු ප්‍රසූතිය තුළින් ඈ ගලවනු ලබන්නී ය.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">යමකු, සභාවේ නායක තනතුර දැරීමට අපේක්ෂා කරන්නේ නම්, ඔහු ශ්‍රේෂ්ඨ කාරියකට ආශා වන්නේ ය යන්න විශ්වාසනීය කියමනකි.</verse>
				<verse number="2">එබැවින් නායකයා දොසක් දැකිය නො හැකි, එක භාර්යාවකට ස්වාමි පුරුෂයා වූ, පමණ දැන කටයුතු කරන, සංයමයෙන් යුතු, ගරු කටයුතු වූ, ආගන්තුක සත්කාරයට ලැදි, ඉගැන්වීමෙහි සමත් අයකු විය යුතු ය.</verse>
				<verse number="3">ඔහු, බේබද්දකු නො වූ, බලහත්කාරයෙන් තොර, මෘදුගුණැති, කලහකරුවකු නො වූ, මුදලට කෑදර නැති කෙනකු විය යුතු ය.</verse>
				<verse number="4">ඔහු තමාගේ පවුල මැනවින් හසුරුවා ගන්නා වූ, ගරුත්වය ආරක්ෂාකර ගනිමින්, තම දරුවන් තමාට අවනත කරගන්නා කෙනකු විය යුතු ය.</verse>
				<verse number="5">තමාගේ පවුල හසුරුවා ගන්නට නො දන්නා කෙනකු දෙවියන්වහන්සේගේ සභාව රැක බලා ගන්නේ කෙසේ ද?</verse>
				<verse number="6">ඔහු අලුත් ඇදහිලිවන්තයකු නො විය යුතු ය. නැතහොත් ඇතැම් විට ඔහු මානයෙන් උදම් වී, යක්ෂයා ලද දඬුවමටම පත් විය හැකි බැවිනි.</verse>
				<verse number="7">තවද ඔහු අපකීර්තියට හා යක්ෂයාගේ උගුලට හසු නො වන පිණිස, පිටස්තර අයගෙන් හොඳ නමක් දිනා ගත්තකු විය යුතු ය.</verse>
				<verse number="8">එසේම, උපස්ථායකයින් ද ගරුත්වයෙන් යුත්, දිව දෙකේ කතා නැති, බොහෝ මිදි යුෂවලට ඇලුම් නො වූ, අයුතු ලාභයට ගිජු නො වූවන් විය යුතු ය.</verse>
				<verse number="9">ඔවුන් ඇදහිල්ලේ අබිරහස පිරිසිදු හෘදය සාක්ෂියකින් දරා සිටිය යුතු ය.</verse>
				<verse number="10">පළමු කොට ඔවුන් සෝදිසි කිරීමකට පාත්‍ර විය යුතු ය. ඉන්පසු ඔවුහු දෝෂ රහිත නම්, උපස්ථායකයින් ලෙස සේවය කරත්වා.</verse>
				<verse number="11">ස්ත්‍රීන් ද එලෙස, ගරුත්වයෙන් යුත්, අපහාස කතාකාරියන් නො වූ, පමණ දැන ක්‍රියා කරන, කවර කාරියකදී වුව විශ්වාසනීය අය විය යුතු ය.</verse>
				<verse number="12">උපස්ථායකයා එක භාර්යාවකට ස්වාමි පුරුෂයාව, තම දරුවන් හා තම පවුල මැනවින් හසුරුවා ගනිත්වා.</verse>
				<verse number="13">උපස්ථායකයින් වශයෙන් හොඳින් සේවය කරන්නන් තමන්ට ගරු තත්වයක් ද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහිල්ලේ මහත් නිසැකකමක් ද අත්කර ගනී.</verse>
				<verse number="14">ඉක්මනින් ඔබ වෙත ඒමට මා බලාපොරොත්තු වන නමුදු, මෙම උපදෙස් මා ඔබට ලියා එවන්නේ,</verse>
				<verse number="15">මා එන්නට ප්‍රමාද වුවහොත් ජීවමාන දෙවියන්වහන්සේගේ සභාව, සත්‍ය දරා සිටින කණුව හා අත්තිවාරම වන දෙවියන්වහන්සේගේ ගෘහ-පවුල තුළ ඔබ කෙසේ හැසිරිය යුතුදැයි වටහා ගන්නා පිණිසයි.</verse>
				<verse number="16">අප ප්‍රකාශ කරන දේව භක්තියේ අබිරහස ඇත්තෙන්ම අති උතුම් ය: උන්වහන්සේ මාංසයෙන් ප්‍රකාශ වූ සේක. නිදොස් බවට ආත්මයාණන්ගෙන් සාක්ෂි ලද සේක. දේව දූතයින් විසින් දක්නා ලද සේක. ජාතීන් අතරේ ප්‍රකාශ කරනු ලැබූ සේක. ලෝකයෙහි අදහා ගනු ලැබූ සේක. තේජසට ඔසවනු ලැබූ සේක.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">ආත්මයාණන්වහන්සේ පැහැදිලිව පවසා සිටින්නේ, පසු කාලෙක ඇතමුන් ඇදහිල්ල අතහැර, මුළා කරවන ආත්ම හා යක්ෂාත්මයින්ගේ ඉගැන්වීම්වලට අනුව ගමන් කරන බව ය.</verse>
				<verse number="2">ඒවා එන්නේ හෘදය සාක්ෂියේ හංවඩු ලද, වංක බොරුකාරයින් මඟිනි.</verse>
				<verse number="3">ඔවුහු විවාහය තහනම් කරති; විශ්වාස කරන, සත්‍යය දැන සිටින ඇදහිලිවතුන් ස්තුති දීමෙන් යුතුව භුක්ති විඳින පිණිස, දෙවියන්වහන්සේ මැවූ ආහාර තහනම් කරති.</verse>
				<verse number="4">මන්ද දෙවියන්වහන්සේ මැවූ හැම දෙයක්ම හොඳ ය; ස්තුති දීමෙන් පිළිගන්නේ නම්, කිසිවක් ප්‍රතික්ෂේප කළ යුතු නැත.</verse>
				<verse number="5">මන්ද දෙවියන්වහන්සේගේ වචනයෙන් හා යාච්ඤාවෙන් ඒවා ශුද්ධ බවට පත් කරනු ලැබේ.</verse>
				<verse number="6">ඔබ මේ දෑ සහෝදරයින්ට පෙන්වා දෙන්නේ නම්, ඔබ ඇදහිල්ලේ වචනයෙන් හා ඔබ අනුගමන කළ සාර ධර්මයෙන් පෝෂණය ලැබූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ හොඳ සේවකයකු වනු ඇත.</verse>
				<verse number="7">අභක්තික මිථ්‍යා සහ මැහැලියන්ගේ ප්‍රලාපවල නො පැටලවී, දේව භක්තිය උදෙසා අභ්‍යාස කරන්න.</verse>
				<verse number="8">ශාරීරික අභ්‍යාසයේ යම් වටිනාකමක් ඇත. එහෙත් මේ ජීවිතයට මෙන්ම මතු ජීවිතයට ද පොරොන්දු දරා සිටින දේව භක්තිවන්තකම හැම අතින්ම වටින්නේ ය.</verse>
				<verse number="9">විශ්වාසනීය, මුළුමනින්ම පිළිගැනීමට යෝග්‍ය කියමනකි මෙය.</verse>
				<verse number="10">අප වෙහෙස මහන්සි වන්නෙත්, පරිශ්‍රම දරන්නෙත් මේ නිසා ය. මන්ද අප බලාපොරොත්තු තබා සිටින්නේ, සියලු මිනිසුන්ගේ, විශේෂයෙන්ම අදහන්නන්ගේ ගැලවුම්කරු වූ ජීවමාන දෙවියන්වහන්සේ කෙරේ ය.</verse>
				<verse number="11">මේ දෑ අණ කරන්න; උගන්වන්න.</verse>
				<verse number="12">ඔබ තරුණ නිසා ඔබ සුළු කොට තකන්නට කිසිවකුට ඉඩ තබන්නේ නැතිව, කතාවෙන්, හැසිරීමෙන්, ප්‍රේමයෙන්, ඇදහිල්ලෙන් හා පවිත්‍රතාවෙන් ඇදහිලිවතුන් හමුවේ ඔබම ආදර්ශයක් වන්න.</verse>
				<verse number="13">මා එන තුරු ශුද්ධ ලියවිල්ල ප්‍රසිද්ධියේ කියවීමට, උපදෙස් දීමට හා ඉගැන්වීමට ඇප කැප වන්න.</verse>
				<verse number="14">සභා වැඩිමහල්ලන් ඔබ මත අත් තබා, දිවැසි පණිවුඩයක් මඟින් ඔබට දානය කරන ලද දීමනාව, නො සලකා නො හරින්න.</verse>
				<verse number="15">ඔබගේ ප්‍රගතිය හැම කෙනකුටම පෙනෙන පරිද්දෙන් මෙම කටයුතුවල ක්‍රියාකාරීව, මුළුමනින් ඊට කැප වන්න.</verse>
				<verse number="16">ඔබගේ පැවැත්ම ගැනත්, ඉගැන්වීම් ගැනත් සුපරික්ෂාකාරී වන්න. ඒවායේ පැවත සිටින්න. ඔබ එසේ කරන්නේ නම්, ඔබ ඔබම ගලවා ගනු ඇත; ඔබට සවන් දෙන්නන් ද ගලවා ගනු ඇත.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">මහලු කෙනකුට සැරෙන් තරවටු නො කරන්න. එවැන්නකුට ඔබේ පියාට මෙන් අනුශාසනා කරන්න. තරුණයින් ඔබේ සහෝදරයින් වශයෙන් ද</verse>
				<verse number="2">මහලු ස්ත්‍රීන් මව්වරුන් සේ ද තරුණ ස්ත්‍රීන් සහෝදරියන් සේ මුළුමනින් පවිත්‍ර සිතින් ද සලකන්න.</verse>
				<verse number="3">සැබවින් වැන්දඹු වූ වැන්දඹුවනට ගෞරව කරන්න.</verse>
				<verse number="4">එහෙත් යම් වැන්දඹුවකට දරුවන්, මුණුබුරන් සිටී නම්, ඒ දරු මුණුබුරන් පළමු කොට ඔවුන්ගේ ගෘහ වාසීන් වෙත භක්තිවන්තකම පෙන්වමින්, තම මාපියනට සත්කාර සැලසීමට ද ඉගෙන ගනිත්වා; එය දෙවියන්වහන්සේ ඉදිරියේ ප්‍රසන්න ය.</verse>
				<verse number="5">තනි වී, සැබවින් වැන්දඹුව සිටින්නී, දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තු තබා, රෑ දහවල් නිරතුරු යාච්ඤාවේ යෙදෙමින්, දෙවියන්වහන්සේගෙන් පිහිට යදින්නී ය.</verse>
				<verse number="6">එහෙත් කෙළි දෙලෙන් සිටින්නී ජීවත්ව සිටියත් මැරිලා ය.</verse>
				<verse number="7">දෝෂ දර්ශනයට ලක් නො වන පිණිස ජනයාට මේවා අණ කරන්න.</verse>
				<verse number="8">යමෙක් තම නෑයින්ට, විශේෂයෙන්ම තම පවුලේ අයට තම යුතුකම් ඉටු කරන්නේ නැතිනම්, ඔහු ඇදහිල්ල ඉවත දැමූවකු ද නො ඇදහිලිකරුවකුටත් වඩා අන්ත කෙනකු ද වෙයි.</verse>
				<verse number="9">වැන්දඹු නාම ලේඛනයට ඇතුළු කළ යුත්තේ, වයසින් අවුරුදු හැටකට අඩු නැති, එක පුරුෂයකුට භාර්යාවකව සිටි,</verse>
				<verse number="10">යහ වැඩ ගැන හොඳ නමක් ඇති තැනැත්තියකි; එනම්, දරුවන් ඇති දැඩි කළ, ආගන්තුක සත්කාර පෑ, ශුද්ධවතුනගේ පා සේදූ, දුකට පත්වූවනට පිහිට වූ, හැම හොඳ වැඩකටම කැපව සිටි තැනැත්තියකි.</verse>
				<verse number="11">එහෙත් තරුණ වැන්දඹුවන් ලේඛනගත කිරීම ප්‍රතික්ෂේප කරන්න. මන්ද ඔවුන්ගේ අනුරාගී ආශා මඟින් ඔවුන් ක්‍රිස්තුස්වහන්සේ වෙතින් ඈත් කළ විට, නැවත විවාහ වීමට ඔවුහු ආශා කරති.</verse>
				<verse number="12">මෙසේ ඔවුහු තමන්ගේ පළමු පොරොන්දුව කඩ කිරීමෙන් තමන්ටම විනිශ්චය පමුණුවා ගනිති.</verse>
				<verse number="13">ඒ හැර ඔවුහු අලසව කල් මැරීමටත්, ගෙන් ගෙට යෑමටත් පුරුදුව, අලසයින් වෙනවා පමණක් නො ව, ඕපාදූප කාරියන් ද නො කිව යුතු දෑ පවසමින් අනුන්ගේ වැඩට ඇඟිලි ගසන්නියන් ද වෙති.</verse>
				<verse number="14">එබැවින් තරුණ වැන්දඹුවන් විවාහ වන ලෙසත්, දරුවන් ලබන ලෙසත්, තම ගේ-දොර බලාගන්නා ලෙසත්, එමඟින් අපවාද නැගීමට සතුරාට ඉඩ නො තබන ලෙසත් උපදෙස් දෙමි.</verse>
				<verse number="15">මන්ද ඇතමුන් දැනටමත් සාතන් පසුපස හැරී ගොසිනි.</verse>
				<verse number="16">යම් ඇදහිලිවන්තියකගේ පවුලේ වැන්දඹුවන් සිටී නම්, සභාවට ඔවුන් බරක් වීමට ඉඩ නො තබා, ඇය ඔවුන්ට උපකාර කරත්වා. එවිට සැබෑවට වැන්දඹු වූවනට සැලකීමට සභාවට හැකි වේ.</verse>
				<verse number="17">දේශනා කිරීමේ හා ඉගැන්වීමේ යෙදෙමින්, සභා කටයුතු හොඳින් මෙහෙය වන සභා-මූලිකයන් දෙගුණයක් ගරු සැලකිලි ලබන්නට සුදුසු ය.</verse>
				<verse number="18">මන්ද, “ගොයම් මඩින කල ගවයාගේ කට නො බැඳිය යුතු ය” කියා ද “සේවකයා ඔහුගේ ගාස්තුව ලැබිය යුත්තෙකි” කියා ද ශුද්ධ ලියවිල්ල පවසයි.</verse>
				<verse number="19">සාක්ෂිකරුවන් දෙදෙනකු හෝ තිදෙනකුගේ සාක්ෂි සාධක ඇතොත් මිස, සභා-මූලිකයකුට එරෙහි චෝදනා නො පිළිගන්න.</verse>
				<verse number="20">එහෙත් සෙසු අය ද බය ඇතිව සිටින පිණිස, දිගටම පව් කරන්නවුනට සෙසු අය ඉදිරියේ ප්‍රසිද්ධියේ තරවටු කරන්න.</verse>
				<verse number="21">දෙවියන්වහන්සේ ද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ද තෝරාගත් දේව දූතයින් ද ඉදිරියේ මා ඔබට අණ කරන්නේ, පූර්ව නිගමනවලින් හා පක්ෂවාදිකම්වලින් තොරව මෙම උපදෙස් පිළිපදින ලෙස ය;</verse>
				<verse number="22">අත් තබා ආලේප කිරීමට ඉක්මන් නො වන්න. අනුන්ගේ පව්වලට හවුල් නො වන්න. ඔබම පවිත්‍රව සිටින්න.</verse>
				<verse number="23">වතුර පමණක් බීමෙන් වැළකී, ඔබගේ උදර ආබාධ හා නිතර වන අසනීප නිසා මිදි යුෂ ස්වල්පයක් භාවිත කරන්න.</verse>
				<verse number="24">ඇතමුන්ගේ පාප, විනිශ්චයට පළමුවෙන්ම පැහැදිලි ය. එහෙත් ඇතමුන්ගේ පාප පසුව එළිදරවු වෙයි.</verse>
				<verse number="25">සත් ක්‍රියා ද එසේම පැහැදිලිව පෙනේ. පැහැදිලිව නො පෙනුනද ඒවා සැඟවී තිබෙන්නට බැරි ය.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">දෙවියන්වහන්සේගේ නාමයට හා ඉගැන්වීමට අපවාද නො නැගෙන පිණිස, තම හාම්පුතුන් මුළුමනින් ගෞරවය ලැබීමට සුදුස්සන් යයි දාස භාවයේ වියගහ යටතේ සිටින්නවුන් සිතත්වා.</verse>
				<verse number="2">ඇදහිලිවත් හාම්පුතුන් ඇති අය, ඔවුන් සහෝදරයින් නිසා ඔවුන්ට දක්වන ගරුත්වය අඩු නො කළ යුතු ය. කළ යුත්තේ, තම සේවයෙන් සෙත සැලසෙන්නේ තමන්ගේම සහෝදරයින්ට හා ප්‍රේමණීයයනට බැවින් වඩා හොඳින් සේවය කිරීමයි. ඔබ ඉගැන්විය යුත්තේත්, අවධාරණ කළ යුත්තේත් මේවා ය.</verse>
				<verse number="3">යමෙක් වෙනස් ධර්ම උගන්වමින්, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ සාරවූ වචන හා දේව භක්තික ඉගැන්වීම්වලට එකඟ නො වේ නම්,</verse>
				<verse number="4">ඔහු අහංකාරයෙන් පිම්ඹෙන්නකු නමුදු කිසිවක් නො වැටහෙන්නෙකි. ඔහු විවාදවලට හා වචන හරඹවලට කැමතිව උමතුවෙන් පෙළෙයි. මේවායින් ඊර්ෂ්‍යාව, කලහය, අපහාස කතා හා දුෂ්ට සැක කිරීම්වලට ද</verse>
				<verse number="5">භක්තිවන්තකම ලාභ ඉපැයීමේ මාර්ගයකැයි සිතන, සත්‍යයෙන් ගිලිහී ගියාවූත්, මනස් දූෂිතවූත් මිනිසුන් අතර නිරන්තර අඩ දබරවලට ද මඟ පෑදෙයි.</verse>
				<verse number="6">ලද දෙයින් සතුටු වීම සමඟ දේව භක්තිවන්තකම සැබවින් ම මහත් ලාභයකි.</verse>
				<verse number="7">මන්ද මෙලොවට අප ගෙන ආ දෙයක් නැත. මෙලොවින් අපට ගෙන යා හැකි දෙයක් ද නැත.</verse>
				<verse number="8">එහෙත් අපට කෑම, ඇඳීම ඇත්නම් ඒවායින් අප සෑහීමට පත් වනු ඇත.</verse>
				<verse number="9">ධනවත් වීමේ තද උවමනාව ඇත්තෝ පරීක්ෂාවට වැටෙති; උගුලට හසු වෙති; මිනිසුන් විනාශයටත්, නාස්තියටත් කිඳා බස්වන අඥානවූත්, හානිකරවූත් අනේක තෘෂ්ණාවනට ගොදුරු වෙති.</verse>
				<verse number="10">මන්ද මුදලට ආලය, සියලු ආකාර නපුරට මුල ය. ඇතමුන් ඇදහිල්ලෙන් මංමුළා වී, අනේක වේදනාවලින් තමන්ම සිදුරු කරගෙන සිටින්නේ මෙම තෘෂ්ණාව නිසා ය.</verse>
				<verse number="11">එහෙත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබ මේ හැම වෙතින් පලා ගොස්, ධර්මිෂ්ඨකම ද දේව භක්තිය ද ඇදහිල්ල හා ප්‍රේමය ද තිරසර බව හා මුදු මෙලෙක් ගුණය ද හඹා යන්න.</verse>
				<verse number="12">ඇදහිල්ලේ යහපත් සටනෙහි සටන් වදින්න. ඔබ කැඳවුම් ලැබුවාවූත්, බොහෝ සාක්ෂිකරුවන් ඉදිරියේ ඔබ ප්‍රකාශ කළාවූත් සදාතන ජීවනය තරයේ අල්ලා ගන්න.</verse>
				<verse number="13">සෑම සියල්ලට ජීවනය දෙන දෙවියන්වහන්සේ ඉදිරියේදීත්, ආණ්ඩුකාර පොන්තියුස් පිලාත් අබියස තම සාක්ෂිය දෙන අතරේ මනා ප්‍රකාශයක් කළ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඉදිරියේදීත් මා ඔබට අණ කරන්නේ,</verse>
				<verse number="14">යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ ප්‍රකාශ වන තුරු නො කැළැල්ව හා දෝෂයෙන් තොරව මේ ආඥාව පිළිපදින ලෙසයි.</verse>
				<verse number="15">උන්වහන්සේ නිසි කල්හි එය එළිදක්වන සේක. උන්වහන්සේ ආශිර්වාදිත වූ, එකම පරමාධිපතියාණන් වූ, රජවරුන්ගේ රජ්ජුරුවෝ වූ, ස්වාමිවරුන්ගේ ස්වාමියාණෝ වූ තැනැන්වහන්සේ ය.</verse>
				<verse number="16">එකම අමරණීය වූ, අනෙකකුට ළඟා විය නො හැකි ආලෝකයේ වැඩ වසන්නා වූ, කිසිවකුත් දැක නැති, දකින්නට ද නො හැකි තැනැන්වහන්සේට ගෞරවයත්, සදාතන පරාක්‍රමයත් වේවා! ආමෙන්.</verse>
				<verse number="17">මේ වත්මන් ලෝකයේ ධනවත්ව සිටින්නන්ට උඩඟු නො වන ලෙසත්, ඒ සා අස්ථිර ධනය කෙරේ බලාපොරොත්තු නො තබා, භුක්ති විඳින පිණිස අපට හැම දේම බහුලව සපයා දෙන දෙවියන්වහන්සේ තුළ විශ්වාසය තබන ලෙසත් අණ කරන්න.</verse>
				<verse number="18">ඔවුන් හොඳ දේ කළ යුතුව ඇත; සත් ක්‍රියාවලින් පොහොසත්ව, ත්‍යාගශීලීව හා බෙදා හදා ගත යුතුව ඇත.</verse>
				<verse number="19">මෙසේ, අනාගතය උදෙසා හොඳ අත්තිවාරමක් වශයෙන් ඔවුන් තමන්ට වස්තුවක් රැස්කර ගනු ඇත්තේ සැබෑ ජීවනය අත්පත් කර ගනු පිණිස ය.</verse>
				<verse number="20">එම්බා තිමෝති, ඔබට බාර දී ඇති දෑ රැකගන්න; හිස් දෙඩවිල්ලෙන් හා දැනුම යැයි බොරුවෙන් හඳුන්වන පරස්පර-විරෝධී අදහස්වලින් ද වළකින්න.</verse>
				<verse number="21">එසේ ප්‍රකාශ කළ ඇතැම්හු ඇදහිල්ලෙන් මුළාව ගියහ. අනුග්‍රහය ඔබ සමඟ වේවා!</verse>
			</chapter>
		</book>
		<book number="55">
			<chapter number="1">
				<verse number="1">ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇති ජීවනයේ පොරොන්දුවට අනුව, දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වන පාවුල් වෙතින්,</verse>
				<verse number="2">මා ප්‍රේමණීය දරුවා වන තිමෝති වෙතයි: පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේගෙන් හා ක්‍රිස්තුස් යේසුස් අප ස්වාමින්වහන්සේගෙන් ඔබට අනුග්‍රහයත්, දයාවත්, සාමයත් වේවා.</verse>
				<verse number="3">දිවා හා රැයේ මාගේ යාච්ඤාවලදී නිබඳව ඔබ සිහි කරමින්, මාගේ මුතුන් මිත්තන් කළ සේ පිරිසිදු හෘදය සාක්ෂියකින් යුතුව, මා සේවය කරන දෙවියන්වහන්සේට මම ස්තුති පුදමි.</verse>
				<verse number="4">ඔබ හෙළූ කඳුළු සිහි වන විට, ඔබ දැකීමේ දැඩි ආශාවක් ඇති වන්නේ, මා ප්‍රීතියෙන් පිරී යන පිණිස ය.</verse>
				<verse number="5">ඔබගේ අව්‍යාජ ඇදහිල්ල මට සිහිගැන්වෙයි. පළමුව ඔබේ මිත්තණිය වූ ලොයිස් තුළ ද ඉන්පසු ඔබේ මෑණියන් වූ එවුනිකී තුළ ද විසූ ඒ ඇදහිල්ල, දැන් ඔබ තුළ ද වෙසෙන බැව් මට සහතික ය.</verse>
				<verse number="6">ඒ හේතුව නිසා මා ඔබට මතක් කරන්නේ, මගේ අත් තැබීම තුළින් ඔබ ලද දෙවියන්වහන්සේගේ දීමනාවේ ගිනි සිළුව, දල්වා තබා ගන්නා ලෙසයි.</verse>
				<verse number="7">මන්ද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නො ව, බලයේත්, ප්‍රේමයේත්, සංයමයේත් ආත්මයකි.</verse>
				<verse number="8">එබැවින් අප ස්වාමින්වහන්සේගේ සාක්ෂිය ගැනවත්, උන්වහන්සේගේ සිරකරුවා වන මා ගැනවත් ලජ්ජා නො වන්න. එහෙත් දෙවියන්වහන්සේගේ බලයෙන්, ශුභාරංචිය උදෙසා දුක් ඉසිලීමට පංගුකාර වන්න.</verse>
				<verse number="9">උන්වහන්සේ අප ගලවා, ශුද්ධ වූ කැඳවීමකට අප කැඳවූයේ, අපගේ ක්‍රියා නිසා නො ව, කාලයේ පටන්ගැන්මටත් පෙර, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ අපට දුන් ස්වකීය අරමුණ හා අනුග්‍රහය නිසා ය.</verse>
				<verse number="10">එහෙත් දැන්, එය එළිදරවු කරනු ලැබ ඇත්තේ, ක්‍රිස්තුස් යේසුස් අප ගැලවුම්කරුවාණන්ගේ ප්‍රකාශ වීම තුළිණි. මරණය විනාශ කළ උන්වහන්සේ ජීවනයත්, අමරණීයත්වයත් එළිදරවු කළේ, ශුභාරංචිය තුළිණි.</verse>
				<verse number="11">දේශකයකු, අපෝස්තුලුවරයකු හා ගුරුවරයකු කොට මා පත් කරනු ලැබ සිටින්නේ ඒ ශුභාරංචියට ය.</verse>
				<verse number="12">මෙලෙස මා දැන් දුක් විඳින්නේ එනිසා ය. එහෙත් මා ලජ්ජා වන්නේ නැත. මන්ද මා අදහාගෙන සිටින්නේ කවුරුදැයි මා දන්නා බැවිනි. තවද මා උන්වහන්සේට භාර දුන් දෑ ඒ දවස දක්වා ආරක්ෂා කරන්නට උන්වහන්සේ සමත් බැව් මම ඒත්තු ගෙන සිටිමි.</verse>
				<verse number="13">ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහිල්ලෙන් හා ප්‍රේමයෙන් යුතුව, ඔබ මවෙතින් ඇසූ සාර ඉගැන්වීමේ සැලැස්ම අනුගමන කරන්න.</verse>
				<verse number="14">ඔබට භාර දෙන ලද යහපත් දෑ අප තුළ වෙසෙන ශුද්ධාත්මයාණන්වහන්සේ මඟින් ආරක්ෂා කරගන්න.</verse>
				<verse number="15">පිගෙලස් හා හර්මෝගෙනිස් ඇතුළු ආසියාවේ හැම කෙනෙක්ම මා වෙතින් ඉවත හැරුණු වග ඔබ දනී.</verse>
				<verse number="16">ඔනෙසිපොරස්ගේ ගෘහ වාසීන්ට ස්වාමින්වහන්සේ දයාව දක්වන සේක්වා! මන්ද ඔහු නිතර මා ප්‍රාණවත් කළේ ය; මගේ සිර-බැඳුම් ගැන ලජ්ජා නො වීය.</verse>
				<verse number="17">තවද, ඔහු රෝමයට ආ කල, වෙහෙස දරා සොයා, මා සොයා ගත්තේ ය.</verse>
				<verse number="18">ඒ දවසේ ස්වාමින්වහන්සේගෙන් දයාව ලබන්නට ස්වාමින්වහන්සේ ඔහුට වර දෙන සේක්වා! එපීසයේදී ඔහු මට කළ නොයෙකුත් උපකාර ඔබත් හොඳින්ම දනී.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">මා දරුව, එබැවින් ඔබ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇති අනුග්‍රහයේ ශක්තිමත් වන්න.</verse>
				<verse number="2">බොහෝ සාක්ෂිකරුවන් ඉදිරියේ මා පවසනු ඔබ අසා ඇති දෑ, අන් අයට ද ඉගැන්වීමට සමත් විශ්වාසී මනුෂ්‍යයින් අතට පත් කරන්න.</verse>
				<verse number="3">ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ හොඳ හේවායකු වශයෙන් දුක් විඳීමට පංගුකාර වන්න.</verse>
				<verse number="4">තමා බඳවාගත් නිලධාරියා සතුටු කිරීමේ අරමුණ ඇති හේවායකු, සමාජයීය කටයුතුවල පටලැවෙන්නේ නැත.</verse>
				<verse number="5">තරඟ නීතිවලට අනුව තරඟ වැදුණොත් මිස, ක්‍රීඩකයකු කිරුළ දිනන්නේ නැත.</verse>
				<verse number="6">අස්වැන්නේ පළමු පංගුව ලැබිය යුත්තා වෙහෙසී වැඩ කළ ගොවියාම ය.</verse>
				<verse number="7">මා කියන දේ ගැන සිතා බලන්න. මන්ද හැම දෙයක් ගැනම අවබෝධය ස්වාමින්වහන්සේ ඔබට දෙනු ඇත.</verse>
				<verse number="8">මළවුන්ගෙන් නැගිටුවනු ලැබුවාවූ ද දාවිත්ගේ පරපුරින් පැවත ආවාවූ ද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සිහි කරන්න. මාගේ ශුභාරංචිය මෙයයි.</verse>
				<verse number="9">අපරාධකරුවකු සේ යදමින් බඳිනු ලැබ, මා පීඩා විඳින්නේ ඒ උදෙසා ය; එහෙත් දෙවියන්වහන්සේගේ වචනය බඳිනු ලැබ නැත.</verse>
				<verse number="10">එබැවින් තෝරා ගත්තවුන් උදෙසා මා, හැම දෙයක් දරා ගන්නේ, සදාතන තේජස සමඟ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇති ගැලවීම ඔවුන් ද අත්කර ගනු පිණිස ය.</verse>
				<verse number="11">මෙය විශ්වාසනීය කියමනකි: උන්වහන්සේ සමඟ අපි මැරුණෙමු නම්, උන්වහන්සේ සමඟ අප ජීවත්වනු ද ඇත.</verse>
				<verse number="12">අපි ඉවසන්නෙමු නම්, උන්වහන්සේ සමඟ අප රජකම් ද කරනු ඇත. අපි උන්වහන්සේ ප්‍රතික්ෂේප කරමු නම්, අප ද ප්‍රතික්ෂේප කරනු ලබනු ඇත.</verse>
				<verse number="13">අප අවිශ්වාසවන්ත වුව ද, උන්වහන්සේ විශ්වාසවන්තවම සිටින සේක. මන්ද තමන්වම ප්‍රතික්ෂේප කරන්නට උන්වහන්සේට නො හැකි ය.</verse>
				<verse number="14">මේ දෑ ඔවුන්ට මතක් කරන්න. වචන ගැන කලහ නො කිරීමට දෙවියන්වහන්සේ ඉදිරියේ ඔවුනට අණ කරන්න; එයින් කිසි හොඳක් සිදු නො වේ, අසා සිටින්නවුන් විනාශ වෙනවා පමණකි.</verse>
				<verse number="15">සත්‍යතාවේ වචනය නිවැරදිව හසුරුවන්න. ලජ්ජා වීමට කිසි හේතුවක් නැති වැඩකරුවකු සේ, පිළිගැනුණු කෙනකු සේ ඔබ, දෙවියන්වහන්සේට පිදෙන්නට වඩාත් උත්සාහ කරන්න.</verse>
				<verse number="16">අභක්තික හිස් දෙඩවිලිවලින් වළකින්න. මන්ද ඒවා වඩ වඩාත් දේව අභක්තියට මිනිසුන් යොමු කරවයි.</verse>
				<verse number="17">ඔවුන්ගේ කතා ඔඩු දුවන තුවාල මෙන් පැතිර යයි. ඔවුන් අතරින් හිමේනියස් හා පිලේතස්</verse>
				<verse number="18">සත්‍යයෙන් බැහැරව මං මුළාව ගොසිනි. මළවුන්ගේ නැගිටීම දැනටමත් සිදුව ඇතැයි ඔවුහු කියති. මෙසේ ඔවුහු ඇතමුන්ගේ ඇදහිල්ල අවුල් කරති.</verse>
				<verse number="19">එහෙත් දෙවියන්වහන්සේගේ ශක්තිමත් අත්තිවාරම මෙම මුද්‍රාව දරයි: “තමන්වහන්සේට අයිති කවුරුදැයි ස්වාමින්වහන්සේ දන්නා සේක” සහ “ස්වාමින්වහන්සේගේ නාමය පිළිගන්නා හැම කෙනෙක්ම දුෂ්ටකමින් ඉවත හැරිය යුතු ය” යනුයි.</verse>
				<verse number="20">මහ මන්දිරයක රන් හා රිදී බඩු පමණක් නො ව ලී හා මැටි බඳුන් ද තිබේ. ඇතැම් ඒවා ගරු අරමුණු සඳහා ය. ඇතැම් ඒවා නිගරු කටයුතු සඳහා ය.</verse>
				<verse number="21">යමෙක් නිගරුව වෙතින් තමා පවිත්‍ර කරගනී නම්, ඔහු ශුද්ධකමට පමුණුවන ලද්දාවූත්, ගෘහයේ ස්වාමියාණන්ට ප්‍රයෝජනවත්වූත්, හැම හොඳ වැඩකටම සුදානම්වූත් ගෞරවණීය කටයුතු සඳහා වන බඳුනක් වන්නේ ය.</verse>
				<verse number="22">තාරුණ්‍යයේ ආශා වෙතින් පලායමින්, පිරිසිදු හදවතින් ස්වාමින්වහන්සේ අමතන්නවුන් සමඟ ධර්මිෂ්ඨකමත්, ඇදහිල්ලත්, ප්‍රේමයත්, සාමයත් ලුහුබැඳ යන්න.</verse>
				<verse number="23">මෝඩ, අනුවණ වාදවලට සම්බන්ධ නො වන්න. ඒවායින් උපදින්නේ අඩ දබර බව ඔබ දනී.</verse>
				<verse number="24">ස්වාමින්වහන්සේගේ සේවකයා දබර නො කළ යුතු ය. ඔහු හැමට කාරුණික, ඉගැන්වීමට සමත්, නපුරුකම් ඉවසන,</verse>
				<verse number="25">විරුද්ධවාදීන්ට මෘදු ලෙස උපදෙස් දෙන්නකු විය යුතු ය. ඇතැම් විට, ඔවුන්ට සත්‍යය දැනගැනීමට මඟ පෙන්වන පසුතැවිල්ලට දෙවියන්වහන්සේ ඔවුන් පමුණුවනු ඇත.</verse>
				<verse number="26">තවද, ඔවුන් හරි කල්පනාවට පැමිණ, ඔවුන් ලවා තම කැමැත්ත කර ගැනීමට ඔවුන් අල්ලා ගනු ලැබූ යක්ෂයාගේ උගුලෙන් බේරී පලා එන්නට ඔවුන්ට හැකි වනු ඇත.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">එහෙත් මෙය සිතට ගන්න; අවසාන දවස්හි අමාරු කාල පැමිණෙනු ඇත.</verse>
				<verse number="2">තමන්ටම ප්‍රේම කරන්නන්ව, මුදලට ප්‍රේම කරන්නන්ව, අහංකාරීන්ව, උඩඟුවූවන්ව, අවලාද නගන්නන්ව, තම මාපියනට අකීකරුවන්නන්ව, අකෘතඥයින් හා අශුද්ධ වූවන්ව,</verse>
				<verse number="3">හිතක්-පපුවක් නැත්තන්ව, සෑහීමට නො පැමිණෙන්නන්ව, අපවාද නගන්නන්ව, අසංවරව, කෘරයින්ව, යහපතට ප්‍රේමයක් නැතිවූවන්ව,</verse>
				<verse number="4">ද්‍රෝහීන්ව, නො සැලකිලිමත්වූවන්ව, මානයෙන් උදම්වූවන්ව, දෙවියන්වහන්සේට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන්නන්ව,</verse>
				<verse number="5">පිටස්තරින් දේව භක්තික ස්වරූපය ඇතත් එහි බලය ප්‍රතික්ෂේප කරන්නන්ව සිටින ජනයාගෙන් ඈත් වන්න.</verse>
				<verse number="6">ඔවුන්ගෙන් ඇතැම්හු, අනුන්ගේ ගෙවලට රිංගා, ළාමක ස්ත්‍රීන් වන පව් බරින් මිරිකී, නොයෙකුත් තෘෂ්ණාවන්ට වසඟව සිටින,</verse>
				<verse number="7">හැම විටම ඉගෙන ගන්නා නමුත්, කිසි විටෙක සත්‍ය දැනගැන්මට නො එන ස්ත්‍රීන් අල්ලා ගන්නෝ වෙති.</verse>
				<verse number="8">යන්නෙස් හා යම්බ්‍රෙස් මෝස‍ෙස්ට එරෙහිව වූ ලෙස මොවුහු ද සත්‍යයට එරෙහිවූ, දූෂිත මනසින් යුත්, ඇදහීම සම්බන්ධයෙන් නුසුදුස්සන් වූහ.</verse>
				<verse number="9">එහෙත් මොවුන් වැඩිදුර යන්නේ නැත. මන්ද පෙර කී මිනිසුන් දෙදෙනාට වූ ලෙසම මොවුන්ගේ අඥානකම හැමටම පැහැදිලි වනු ඇත.</verse>
				<verse number="10">කෙසේ වෙතත් ඔබ, මා ගැන දනී; එනම්, මගේ ඉගැන්වීම, මගේ කල් ක්‍රියාව, මගේ ජීවන අරමුණු, මගේ ඇදහිල්ල, මගේ ඉවසීම, මගේ ප්‍රේමය හා මගේ ස්ථිරත්වය ද</verse>
				<verse number="11">මා විඳ දරාගත් වධ විඳීම්, එනම් අන්තියෝකියේදී, ඉකෝනියෙහි දී හා ලුස්ත්‍රාවෙහිදී මට සිදු වූ මා විඳ දැරූ වධ හා වේදනා ද යන දෑ ය. එහෙත් ස්වාමින්වහන්සේ ඒ සියල්ලෙන් මා මිදූ සේක.</verse>
				<verse number="12">ඇත්තෙන්ම, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දේව භක්තික ජීවිතයක් ගත කරන්නට ආශා කරන හැම කෙනකුටම පීඩා ලැබේ.</verse>
				<verse number="13">ඒ අතර දුෂ්ටයින් හා වංචනිකයින් රවටමින් ද රැවටෙමින් ද සිටියාටත් වඩා නරකින් නරකට පත් වේ.</verse>
				<verse number="14">එහෙත් ඔබ, ඔබ උගත් දෑ හා ඔබ අචලව විශ්වාස කළ දෑ දිගටම පවත්වන්න. ඔබ ඒවා උගත්තේ කවුරුන්ගෙන් ද යන්නත්,</verse>
				<verse number="15">ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහීම තුළින් ගැලවීම සඳහා ඔබ නැණවත් කිරීමෙහි පොහොසත් ශුද්ධ ලියවිලි ළමා අවදියේ පටන්ම දැන උගත් අයුරුත් ඔබ දනී.</verse>
				<verse number="16">ශුද්ධ ලියවිලි සියල්ල දෙවියන්වහන්සේගේ ආනුභාව ලද බැවින් ඉගැන්වීමටත්, තරවටුවටත්, නිවැරදි කිරීමටත්, ධර්මිෂ්ඨකමේ පුහුණුවටත් ප්‍රයෝජනවත් ය.</verse>
				<verse number="17">ඒ, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා හැම හොඳ වැඩකටම පුහුණුව හා සන්නද්ධව සිටිනු පිණිස ය.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">දෙවියන්වහන්සේ ඉදිරියේ ද ජීවතුන් හා මළවුන් විනිශ්චය කරන්නට සිටින ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඉදිරියේ ද උන්වහන්සේගේ පැමිණීමත්, උන්වහන්සේගේ රාජ්‍යයත් උදෙසා, මම ඔබට මෙසේ නියෝග කරමි.</verse>
				<verse number="2">වචනය දේශනා කරන්න; කලටත්, අකලටත් සූදානමින් සිටින්න; වරද පෙන්වා දීමත්, තරවටු කිරීමත්, දිරිගැන්වීමත් කළ යුත්තේ, පූර්ණ ඉවසීමෙන් හා උපදෙසින් යුතුව ය.</verse>
				<verse number="3">මන්ද සාරවත් ඉගැන්වීමට මිනිසුන් සවන් නො දෙන කාලය පැමිණේ; ඔවුන් නලියන කන් ඇතිව, තම ආශාවනට සරිලන දේ ඇසීමට තමන්ට ගුරුවරුන් රැස් කරගෙන,</verse>
				<verse number="4">සත්‍යය වෙතින් තම කන් ඉවත හරවා, මිථ්‍යාවන් වෙත මුළාව යනු ඇත.</verse>
				<verse number="5">එහෙත් ඔබ, හැම විට සංයමයෙන් සිටිමින්, අපහසුතා දරා ගනිමින්, ශුභාරංචිය ප්‍රකාශ කරන්නකුගේ මෙහෙය කරන්න. ඔබගේ මෙහෙය සම්පූර්ණ කරන්න.</verse>
				<verse number="6">මන්ද දැනටමත් මම පාන පූජාවක් සේ වගුරුවනු ලබමින් සිටිමි. මගේ වියෝවීමේ කාලය ද එළඹ තිබේ.</verse>
				<verse number="7">මම යහපත් සටනක සටන් වැදුණෙමි. මම තරඟ දිවීම සම්පූර්ණ කළෙමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි.</verse>
				<verse number="8">එබැවින් දැන්, ධර්මිෂ්ඨකමේ ජයග්‍රාහී ඔටුන්න මා උදෙසා තබා තිබේ. ධර්මිෂ්ඨ විනිශ්චයකරුවාණන් වන ස්වාමින්වහන්සේ ඒ දවසේ එය මට ප්‍රදාන කරනු ඇත. මට පමණක් නො ව, උන්වහන්සේගේ ප්‍රකාශ වීම, අභිරුචියෙන් බලා සිටින හැමටත් ය.</verse>
				<verse number="9">ඉක්මනින් මා වෙත එන්න උත්සාහ දරන්න.</verse>
				<verse number="10">මන්ද දේමස්, වත්මන් ලෝකයට ආලය වී මා අතහැර තෙසලෝනිකය වෙත ගොසිනි. ක්‍රෙස්කෙන්ස් ගලාතියට ද තීතස් දල්මාතියට ද පිටත්ව ගොසිනි.</verse>
				<verse number="11">ලූක් පමණක් මා සමඟ ය. ඔබ සමඟ මාර්ක් කැඳවාගෙන එන්න. මාගේ සේවය සඳහා ඔහු මට ප්‍රයෝජනවත් ය.</verse>
				<verse number="12">තුකිකස් එපීසය වෙත යැවීමි.</verse>
				<verse number="13">ත්‍රෝවසෙහි කාර්පස් වෙත මා තබා ආ කබාය හා පොත් ද විශේෂයෙන් සටහන් සහිත සම් පොත් ඔබ එද්දී ගෙන එන්න.</verse>
				<verse number="14">ලෝහ ශිල්පී ඇලෙක්සැන්ඩර් මට මහත් උපද්‍රව පැමිණ වීය. ඔහු කළ දේට ස්වාමින්වහන්සේ ඔහුට නිසි විපාක දෙනු ඇත.</verse>
				<verse number="15">ඔබත්, ඔහුගෙන් පරිස්සම් වන්න. මන්ද ඔහු අපේ පණිවුඩයට දැඩිව විරුද්ධ විය.</verse>
				<verse number="16">මගේ මුල් නඩු වාරයේ කිසිවකු මා සමඟ සිටියේ නැත. සැවොම මා අතහැර ගියහ. එය ඔවුන්ට එරෙහිව ගණන් නො ගැනේවා!</verse>
				<verse number="17">එහෙත් මා මඟින් පණිවුඩය මුළුමනින් ප්‍රකාශ වී, සියලු අන්‍ය-ජාතිකයින් එය අසන පිණිස, ස්වාමින්වහන්සේ මා පසෙකින් සිට, මා දිරිගැන්වූ සේක. මෙසේ, සිංහ මුඛයෙන් මම ගලවනු ලැබීමි.</verse>
				<verse number="18">හැම නපුරු ක්‍රියාවකින් ස්වාමින්වහන්සේ මා මුදා ගන්නා සේක්, ස්වකීය ස්වර්ග රාජ්‍යයට සුරක්ෂිතව මා ගෙන යන සේක. උන්වහන්සේට සදහට ම, සදාතනිකව තේජෝ මහිම වේවා! ආමෙන්.</verse>
				<verse number="19">ප්‍රිස්කා හා අකිලාට ද ඔනෙසිපොරස්ගේ ගෘහ වාසීන්ට ද මගේ ආචාරය දන්වන්න.</verse>
				<verse number="20">එරස්තස් කොරින්තියේ නැවතුණේ ය. ත්‍රොපිමස් අසනීප වූ නිසා මිලේතසෙහි නවතා ආවෙමි.</verse>
				<verse number="21">ශීත කාලයට කලින් මෙහි ඒමට උත්සාහ කරන්න. යුබුලස් ඔබට ආචාර කරයි. පුදෙන්ස්, ලීනස්, ක්ලෝදියා හා සහෝදරවරු සැවොම ඔබට ආචාර කරති.</verse>
				<verse number="22">ස්වාමින්වහන්සේ ඔබගේ ආත්මය සමඟ වේවා! අනුග්‍රහය ඔබ සමඟ වේවා.</verse>
			</chapter>
		</book>
		<book number="56">
			<chapter number="1">
				<verse number="1">දෙවියන්වහන්සේගේ සේවකයකු හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වන පාවුල් වෙතිනි. දෙවියන්වහන්සේගේ තෝරාගත්තවුන්ගේ ඇදහිල්ල උදෙසාත්, දේව භක්තියට අදාළ ඔවුන්ගේ සත්‍ය අවබෝධය උදෙසාත්,</verse>
				<verse number="2">බොරු නො කියන දෙවියන්වහන්සේ යුග කාල පටන්ගැන්මටත් කලින් පොරොන්දු වූ, සදාතන ජීවනය පිළිබඳ බලාපොරොත්තුව,</verse>
				<verse number="3">නිසි කල්හි ස්වකීය වචනය උන්වහන්සේ ප්‍රකාශයට පත් කළේ, අප මිදුම්කරුවාණන් වූ දෙවියන්වහන්සේගේ නියෝගයෙන් මට පවරන ලද දේශනා කිරීම තුළිනි.</verse>
				<verse number="4">පොදු ඇදහිල්ල තුළ මගේ සැබෑ දරුවා වූ තීතස් වෙතයි: පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගෙන් හා අපගේ ගැලවුම්කාර ක්‍රිස්තුස් යේසුස්වහන්සේගෙන් අනුග්‍රහයත්, සාමයත් වේවා!</verse>
				<verse number="5">මා ක්‍රීතයේ ඔබ නතර කළේ මෙනිසයි; මා ඔබට නියම කළ ලෙස, කළ යුතු වැඩ කොටස නිසි පිළිවෙළට කිරීමටත්, මා ඔබට පෙන්වා දුන් අයුරු හැම නගරයක සභා-මූලිකයින් පත් කිරීමටත් ය.</verse>
				<verse number="6">ඔවුන් දෝෂ රහිත විය යුතු අතර, එක් භාර්යාවකට ස්වාමි පුරුෂයා විය යුතු ය. ඔහුගේ දරුවන් ඇදහිලිවතුන් විය යුතු අතර, නො හික්මීම හා අකීකරුවීම යන දෝෂ දර්ශනයට ලක් නො වූ අය විය යුතු ය.</verse>
				<verse number="7">සභා නායකයා, දෙවියන්වහන්සේගේ කළමනාකරුවකු හෙයින් දෝෂ රහිත කෙනකු විය යුතු ය. ඔහු අහංකාර නො වූ, වහා නො කිපෙන්නා වූ, බේබද්දකු නො වූ, කලහකරුවකු නො වූ, වාසියට ගිජු නො වූ කෙනකු විය යුතු අතර,</verse>
				<verse number="8">ආගන්තුක සත්කාරයට ලැදි, යහපතට ප්‍රේම කරන, ආත්ම සංයමයෙන් යුක්ත, යුක්ති ගරුක, ශුද්ධවත්, විනය ගරුක කෙනකු විය යුතු ය.</verse>
				<verse number="9">සාර ඉගැන්වීම මඟින් අන්‍යයන් දිරි ගැන්වීමටත්, ඊට එරෙහිවන්නන් දුර්මුඛ කිරීමටත් සමත් වන පිණිස, ඔහු තමාට උගන්වන ලද පරිද්දෙන් විශ්වාසී වචනය තදින් අල්ලා ගත යුතු ය.</verse>
				<verse number="10">මන්ද පුහු කතාකරුවන් වූ, රැවටිලිකාර හිතුවක්කරුවන් බොහෝ දෙනෙක් වෙති; විශේෂයෙන් ඒ චර්මඡේදිත කණ්ඩායමේ අය ය.</verse>
				<verse number="11">නිර්ලජ්ජිත වාසි ලබන පිණිස, නූගැන්විය යුතු දේ උගන්වමින්, ඔවුන් පවුල් පිටින් විනාශයට යොමු කරවන බැවින්, ඔවුන්ගේ කට පියවිය යුතුව ඇත.</verse>
				<verse number="12">“ක්‍රීතවාසීහු සැමදා බොරුකරුවන් ය; අමු තිරිසන්නු ය; අලස කෑදරයෝ යැ” යි ක්‍රීත වාසී අනාවැකිකරුවෙක් කියා තිබේ.</verse>
				<verse number="13">මේ කියමන සත්‍යයකි. එබැවින් ඔවුන්ට තදින් තරවටු කරන්න. එසේ කළ යුත්තේ, ඔවුන් සාර ඇදහිලිවතුන් වන පිණිසත්,</verse>
				<verse number="14">යුදෙව් මිථ්‍යාවලට හෝ සත්‍යයට පිටුපෑවුන්ගේ නියෝගවලට ඔවුන් ඇදී නො යන පිණිසත් ය.</verse>
				<verse number="15">පවිත්‍ර අයට සියලු දේ පවිත්‍ර ය. එහෙත් දූෂිත හා අවිශ්වාසීවූවනට කිසිවක් පවිත්‍ර නැත. ඔවුන්ගේ මනසත්, හෘදය සාක්ෂියත් යන දෙකම දූෂ්‍ය වී ඇත.</verse>
				<verse number="16">තමන් දෙවියන්වහන්සේ දනිතැයි ඔවුහු කියා ගනිති. එහෙත් තම ක්‍රියාවලින් උන්වහන්සේ ප්‍රතික්ෂේප කරති. ඔවුන් පිළිකුලක් ය; අකීකරු ය; කිසි යහපත් ක්‍රියාවකට නුසුදුසු ය.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">ඔබ ඉගැන්විය යුත්තේ සාරවූ දහම් ඉගැන්වීමට අනුකූලව ය.</verse>
				<verse number="2">වයස්ගත පිරිමි සන්සුන්ව, ගෞරවණීයව, සංයමයෙන් යුතුව, ඇදහිල්ලේ, ප්‍රේමයේ හා ස්ථිරත්වයේ සිටින්නන් විය යුතු ය.</verse>
				<verse number="3">එලෙසම වයස්ගත ස්ත්‍රීන් හැසිරීමෙන් ගරු කටයුතු වූ, අපහාස කතා නො කියන, අධික මිදි යුෂ පානයට ඇබ්බැහි නො වූ, එහෙත් ගුණදම් කියා දෙන තැනැත්තියන් විය යුතු ය.</verse>
				<verse number="4">එවිට තරුණ ස්ත්‍රීන් පුහුණු කරන්නට ඔවුනට පුළුවන; එනම්, දෙවියන්වහන්සේගේ වචනය අපකීර්තියට පත් නො වන ලෙස ඔවුන්ගේ පුරුෂයනට හා දරුවනට ප්‍රේම කරන්නටත්,</verse>
				<verse number="5">සංයමයෙන් හා පවිත්‍රත්වයෙන් යුතුව, ගෙදර-දොර කටයුතු කිරීමත්, තම ස්වාමි පුරුෂයනට යටත්ව සිටීමත් යනාදි වශයෙනි.</verse>
				<verse number="6">තවද තරුණ පුරුෂයන් සංයමයෙන් යුක්ත වීමට උනන්දු කරවන්න.</verse>
				<verse number="7">හැම ලෙසින්ම යහපත් ක්‍රියාවන්හි ආදර්ශය, ඔබම පෙන්නුම් කරන්න. ඉගැන්වීමේදී ඍජුව, ගරුසරුව,</verse>
				<verse number="8">වරදක් දැක්විය නො හැකි සාරවත් කතාවෙන් විය යුත්තේ, අප ගැන කිසි නපුරක් කියන්නට බැරිව විරුද්ධවාදියා ලජ්ජාවට පත් වන පිණිස ය.</verse>
				<verse number="9">දාසයින් හැම දේකදී ඔවුන්ගේ හාම්පුතුනට අවනතව සිටිය යුතු ය; ඔවුන් ප්‍රසන්න කරමින්, තර්කවාදී නො වී,</verse>
				<verse number="10">සොරකම් නො කරන, සම්පූර්ණ විශ්වාසය තැබිය හැකි බව පෙන්නුම් කරන්නන් විය යුත්තේ හැම අයුරින්ම අප ගැලවුම්කාර දෙවියන්වහන්සේගේ ඉගැන්වීම ඔවුන් මඟින් බැබළෙන පිණිස ය.</verse>
				<verse number="11">මන්ද සියලු මිනිසුනට ගැලවීම සලසන දෙවියන්වහන්සේගේ අනුග්‍රහය ප්‍රකාශ වී තිබෙන්නේ,</verse>
				<verse number="12">මේ වත්මන් යුගයේ දේව අභක්තිය හා ලෞකික ආශා පිටුදැකීමට පුහුණුව ලබමින්, සංයමයෙන්, යුක්ති ගරුකව හා දේව භක්තියෙන් යුතුව ජීවත් වන පිණිස,</verse>
				<verse number="13">අපගේ උත්තම දෙවියන්වහන්සේ ද ගැලවුම්කරුවාණන් ද වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තේජවත් ප්‍රකාශ වීමේ භාග්‍යවත් බලාපොරොත්තුවෙන් අප බලා සිටියදී ය.</verse>
				<verse number="14">සියලු දුෂ්ටකම්වලින් අප මුදනු පිණිසත්, යහපත් ක්‍රියාවන් කිරීමට උද්යෝගී, තමන් සන්තකවූත් ජනතාවක් කොට අප පවිත්‍ර කර ගනු පිණිසත් උන්වහන්සේ අප උදෙසා තමන්ම දුන් සේක.</verse>
				<verse number="15">මේ දෑ ප්‍රකාශ කරන්න. පූර්ණ ආධිපත්‍යයෙන් යුතුව අවවාද කරන්න; තරවටු කරන්න. ඔබ සුළු කොට තකන්නට කිසිවකුටත් ඉඩ නො දෙන්න.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">මේවා ඔවුන්ට මතක් කර දෙන්න; පාලකයින්ට හා අධිපතීනට යටත් විය යුතු බැව් ද කීකරු විය යුතු බැව් ද හැම යහපත් ක්‍රියාවකට සූදානම්ව සිටිය යුතු බැව් ද</verse>
				<verse number="2">කිසිවකු ගැන නපුරක් නො කිව යුතු බැව් හා අඬදබරවලින් වැළකී, ආචාර සම්පන්නව, හැමදෙනා ඉදිරියේ සැබවින් නිහතමානීව සිටිය යුතු බැව් ද යන වශයෙනි.</verse>
				<verse number="3">කලක් අපත් අනුවණව හා අකීකරුව, මුළා වී, සියලු ආකාර ආශා හා තෘෂ්ණාවනට වහල්ව ඊර්ෂ්‍යාවෙන් යුතුව අපගේ දවස් ගත කළෙමු.</verse>
				<verse number="4">එහෙත් අපගේ ගැලවුම්කාර දෙවියන්වහන්සේගේ යහ ගුණයත්, ආදර කරුණාවත් ප්‍රකාශ වූ කල,</verse>
				<verse number="5">උන්වහන්සේ අප ගැලෙව්වේ, අප කළ ධර්මිෂ්ඨකම් නිසා නො ව, උන්වහන්සේගේ දයාවන් නිසා නැවත ඉපදීම නැමති සේදීම හා ශුද්ධාත්මයාණන්ගේ අලුත් කිරීම මඟින් ය.</verse>
				<verse number="6">උන්වහන්සේ, යේසුස් ක්‍රිස්තුස් අප ගැලවුම්කරුවාණන් මඟින් අධිකව ශුද්ධාත්මයාණන් අප පිට වගුළේ,</verse>
				<verse number="7">උන්වහන්සේගේ අනුග්‍රහයෙන් අප නිර්දෝෂ කරනු ලැබ, සදාතන ජීවන බලාපොරොත්තුවේ උරුමක්කරුවන් බවට අප පත් වන පිණිස ය.</verse>
				<verse number="8">මේ කියමන විශ්වාසනීය ය; දෙවියන්වහන්සේ තුළ විශ්වාසය තැබූවන්, යහපත් ක්‍රියා කිරීමට තමන්ම කැපවීමට උනන්දු වන පිණිස, මේ දෑ ගැන ඔබ වැඩි අවධානයක් යොමු කිරීම මාගේ කැමැත්තයි. මේ දෑ හැම කෙනකුටම විශිෂ්ට ය; වැඩදායක ය.</verse>
				<verse number="9">එහෙත් අනුවණ තර්ක ද වංශ පරම්පරා හා වාද විවාද හා දහම් නීති ආරවුල් යනාදියෙන් වැළකී සිටින්න. ඒවා අවැඩදායක ය; නිෂ්ඵල ය.</verse>
				<verse number="10">බෙදීම් ඇතිකරන්නාට වරක් දෙවරක් අවවාද කිරීමෙන් පසු ඔහුගෙන් අහක් වෙන්න.</verse>
				<verse number="11">එබඳු අය වංක ගති ඇති පාපීන් ය. ඔවුන් තමනටම දඬුවම් පමුණුවා ගනිති.</verse>
				<verse number="12">අර්තිමස් හෝ තුකිකස් හෝ මා ඔබ වෙත එවූ විගස මා හමුවට නිකපොලිස් නගරයට එන්න. මගේ තීරණය ශීත කාලය නිකපොලිස්හි ගත කරන්නටයි.</verse>
				<verse number="13">නීතිඥ සේනාස්ට හා අපොල්ලොස්ට ඔවුන්ගේ ගමන සඳහා කළ හැකි හැම උපකාරයක්ම කරන්න. අඩුවක් නැතිව, ඔවුන්ට හැම දේ සපයා දෙන්න.</verse>
				<verse number="14">අප ජනතාව තම අවශ්‍යතා සපයා ගැන්ම සඳහා ද නිකමුන් නො වනු සඳහා ද යහපත් වැඩවලට තමන්ම කැපවීම උගත යුතුව ඇත.</verse>
				<verse number="15">මා සමඟ සිටින සියල්ලෝ ඔබට ආචාර කරති. ඇදහිල්ලේ පැවත, අපට ප්‍රේම කරන අයට ආචාර කරන්න. අනුග්‍රහය ඔබ හැම සමඟ වේවා!</verse>
			</chapter>
		</book>
		<book number="57">
			<chapter number="1">
				<verse number="1">ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සිරකරුවකු වූ පාවුල් හා අප සහෝදර තිමෝති වෙතින්, අප සේවයේ හවුල්කාර අප ප්‍රේමණීය පිලෙමොන් ද</verse>
				<verse number="2">අප සහෝදරිය අප්පියා ද අපගේ හවුල් සෙබළ අර්කිපස් ද ඔබ නිවසේ රැස්වන සභාව ද වෙතයි.</verse>
				<verse number="3">අපගේ පියාණන් වූ දෙවියන්වහන්සේගෙන් හා යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගෙන් ඔබට අනුග්‍රහයත්, සාමයත් වේවා!</verse>
				<verse number="4">මාගේ යාච්ඤාවලදී ඔබ සිහි කරන හැම විටෙක, මාගේ දෙවියන්වහන්සේට මා ස්තුති කරන්නේ,</verse>
				<verse number="5">යේසුස්වහන්සේ වෙත හා සියලු ශුද්ධවන්තයින් වෙත ඇති ඔබගේ ප්‍රේමය හා ඇදහිල්ල ගැන මට අසන්නට ලැබෙන බැවිනි.</verse>
				<verse number="6">අප තුළ ක්‍රිස්තුස්වහන්සේ උදෙසා ඇති හැම හොඳ දෙයක් පිළිබඳව පූර්ණ අවබෝධයක් ඔබට ලැබෙන පිණිස, ඔබගේ ඇදහිල්ලේ හවුල්කාරකමෙහි ඔබ පලදායි වන පිණිස මම යාච්ඤා කරමි.</verse>
				<verse number="7">මා සොහොයුර, ඔබගේ ප්‍රේමය මට මහත් ප්‍රීතියක් හා සැනසිල්ලක් ගෙන දී ඇත. මන්ද ඔබ තුළින් ශුද්ධවතුන්ගේ හදවත් ප්‍රාණවත් කරනු ලැබ ඇති හෙයිනි.</verse>
				<verse number="8">එබැවින්, කරන්නට අවශ්‍ය දේ ගැන ඔබට නියෝග කරන්නට වුව ද, ක්‍රිස්තුස්වහන්සේ තුළ මට ධෛර්යය ඇතත්,</verse>
				<verse number="9">ප්‍රේමයේ නාමයෙන් මම ඔබට ආයාචනයක් කරමි. මහලු මිනිසකු ද දැන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සිරකරුවකු ද වන පාවුල් නම් මම,</verse>
				<verse number="10">සිරගතව සිටියදී පියාණන් බවට මා පත් වූ මගේ දරුවා වන ඔනේසිමස් ගැන ඔබට ආයාචනා කරමි.</verse>
				<verse number="11">කලින් ඔහු ඔබට නිෂ්ප්‍රයෝජනව සිටි නමුදු, දැන් ඔහු ඔබටත්, මටත් දෙදෙනාටම ප්‍රයෝජනව සිටියි.</verse>
				<verse number="12">මාගේම හදවත වැනි ඔහු ඔබ වෙත ආපසු එවන්නෙමි;</verse>
				<verse number="13">ශුභාරංචිය උදෙසා මා මෙසේ සිරගතව සිටියදී මගේ උපකාරයට, ඔබ වෙනුවට ඔහු මා වෙත රඳවා ගැනීම මගේ කැමැත්තයි.</verse>
				<verse number="14">එහෙත්, ඔබගේ අනුමැතියෙන් තොරව, කිසිත් කරන්නට මා කැමති නො වූයේ, ඔබ කරන යහපත බලයෙන් නො ව, ස්ව කැමැත්තෙන් කරන්නක් වන පිණිසයි.</verse>
				<verse number="15">ඇතැම් විට, කලකට ඔහු ඔබෙන් වෙන් කරන ලද්දේ ඔහු සදහට ම ආපසු ලැබීමට විය හැක.</verse>
				<verse number="16">තවදුරටත් දාසයකු ලෙස නො ව, දාසයකුට වඩා ප්‍රේමණීය සහෝදරයකු ලෙස ලැබීමට විය හැක. විශේෂයෙන්ම මට එසේ වී නම්, මිනිස් ආකාරයෙන් පමණක් නො ව ස්වාමින්වහන්සේ තුළ සහෝදරයකු වශයෙන් ඔබට කොයි තරම් වේ ද!</verse>
				<verse number="17">එබැවින් මා ඔබේ හවුල්කරු යැයි ඔබ සලකනවා නම්, මා පිළිගන්නා විලස සාදරයෙන් ඔහු පිළිගන්න.</verse>
				<verse number="18">ඔහු ඔබට වරද කර ඇත්නම්, නැතහොත් කිසිවකින් ඔබට ණය නම්, එය මගේ ගණනට දමන්න.</verse>
				<verse number="19">මම, පාවුල්, මගේම අතින් ඔබට ලියන්නේ, මම එය ආපසු ගෙවන්නෙමි. ඔබ, ඔබේම ජීවිතයෙන් මට ණය වග මතක් කළ යුතු නො වේ.</verse>
				<verse number="20">ඔව් සහෝදරය, ස්වාමින්වහන්සේ තුළ මට ඔබෙන් උපකාරයක් අවශ්‍යයයි. ක්‍රිස්තුස්වහන්සේ තුළ මා හද ප්‍රාණවත් කරන්න.</verse>
				<verse number="21">ඔබගේ කීකරුකම ගැන වූ විශ්වාසයෙන්, මා ඔබට ලියන්නේ, මා කියනවාටත් වඩා වැඩියෙන් ඔබ කරන වග දැනගෙන ය.</verse>
				<verse number="22">ඒ හැර, නවාතැනක් මට සූදානම් කර තබන්න. මන්ද ඔබේ යාච්ඤාවලට පිළිතුරු වශයෙන් ඔබ අතරේ යළි මා පිහිටුවනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.</verse>
				<verse number="23">ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මගේ හවුල් සිරකරු එපප්‍රස්, තම ආචාරය ඔබට පිළිගන්වයි.</verse>
				<verse number="24">මගේ හවුල් වැඩකරුවන් වන මාර්ක්, අරිස්තාර්කස්, දේමස් හා ලූක් ද එසේම කරති.</verse>
				<verse number="25">යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබගේ ආත්මය හා වේවා!</verse>
			</chapter>
		</book>
		<book number="58">
			<chapter number="1">
				<verse number="1">ඈත අතීතයේ බොහෝ අවස්ථාවල, නොයෙක් මාර්ගවලින් දෙවියන්වහන්සේ දිවැසිවරුන් මඟින් අපේ පියවරුනට කතා කළ සේක.</verse>
				<verse number="2">එහෙත් මේ අවසන් දවස්හිදී උන්වහන්සේ අපට කතා කර ඇත්තේ, සියලු දේහි උරුමකරුවාණන් කර, උන්වහන්සේ පත් කළ, එසේම මුළු ලෝකය උන්වහන්සේ මවනු ලැබුවේ කවරකු තුළින් ද, අන්න ඒ ස්වකීය පුත්‍රයාණන් මඟිනි.</verse>
				<verse number="3">උන්වහන්සේ, දෙවියන්වහන්සේගේ තේජාලංකාරයේ ප්‍රභාවය ද උන්වහන්සේගේ යථා ස්වභා-ස්වරූපය ද වන සේක්, තම බලගතු වචනයෙන් විශ්වයම දරා සිටින සේක. පාප ශෝධනය කළ පසු, උන්වහන්සේ ස්වර්ගයේ මහෝත්තමයාණන්ගේ දකුණු පස අසුන් ගත් සේක.</verse>
				<verse number="4">උන්වහන්සේට උරුමව ඇති නාමය පරිදි, උන්වහන්සේ දේව දූතයින්ට වඩා බෙහෙවින් උත්තරීතර බවට පැමිණි සේ ම, එය ඔවුන්ගේ නාමයට වඩා බෙහෙවින් විශිෂ්ට ය.</verse>
				<verse number="5">මන්ද දෙවියන්වහන්සේ කවර දේව දූතයකුට, කවදා මෙසේ පවසා ඇද්ද? “ඔබ මාගේ පුත්‍රයාණන් ය; මම අද ඔබ ජනිත කළෙමි.” යළිත්, “මම ඔහුට පියාණන් කෙනකු වන්නෙමි. ඔහු මට පුත්‍රයකු වන්නේ ය.”</verse>
				<verse number="6">එසේම නැවතත්, උන්වහන්සේ තම කුලුඳුලාණන් ලොවට ගෙනෙන කල, මෙසේ පවසන සේක, “දෙවියන්වහන්සේගේ සියලු දූතයින්, උන්වහන්සේට නමස්කාර කරත්වා.”</verse>
				<verse number="7">දේව දූතයින් ගැන උන්වහන්සේ සඳහන් කරන්නේ, “උන්වහන්සේ තම දූතයින් සුළං ද, තම සේවකයින් ගිනිදැලක් ද කරන සේක” යනුවෙනි.</verse>
				<verse number="8">එහෙත් පුත්‍රයාණන් ගැන උන්වහන්සේ කියන්නේ, “අහෝ දෙවියන්වහන්ස, ඔබගේ සිංහාසනය සදාතනික ය, සදහට ම ය; ධර්මිෂ්ඨත්වයේ ජයකොන්තය ය, ඔබගේ රාජ්‍යයේ ජයකොන්තය ය;</verse>
				<verse number="9">ධර්මිෂ්ඨකමට ඔබ ප්‍රේම කළ සේක්, දුෂ්ටකමට වෛර කළ සේක; එබැවින් දෙවියන්වහන්සේ, ඔබේ දෙවියන්වහන්සේ, ඔබගේ සහකරුවනට, ඉහළින් ප්‍රමෝදයේ තෙලින් ඔබ ආලේප කළ සේක” යනුවෙනි.</verse>
				<verse number="10">තවද, “ස්වාමින්වහන්ස, පටන්ගැන්මේදී ඔබ පොළොවේ අත්තිවාරම් ලූ සේක. ස්වර්ග ඔබගේ අත්වල වැඩ වේ.</verse>
				<verse number="11">ඒවා වැනසී යනු ඇත. එහෙත් ඔබ පැවත සිටින සේක; ඒවා වස්ත්‍රයක් සේ ගෙවී, පරණ වෙයි.</verse>
				<verse number="12">ඔබ ඒවා සළුවක් මෙන් ඔතා දමන සේක; ඇඳුමක් සේ ඒවා මාරු කෙරේ. එහෙත් ඔබ, එක ලෙසම ය. ඔබගේ අවුරුදුවලට කෙළවරක් නැත.”</verse>
				<verse number="13">කවර දේව දූතයකුට උන්වහන්සේ කවදා මෙසේ පැවසූ සේක් ද? “මා, ඔබගේ සතුරන්, ඔබේ පයට පා පුටුවක් කරදෙන තෙක්, මා දකුණු පසින් අසුන් ගන්න.”</verse>
				<verse number="14">ඔවුන් සියල්ලෝ ගැලවීමේ උරුමය ලබන්නට සිටින්නන්ට සේවය කරන පිණිස, එවනු ලැබූ සේවා ආත්මයෝ නො වෙත් ද?</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">එබැවින්, අප අසා ඇති දෑ වෙතින් අප ඉවත ඇදී නො යන පිණිස, අප ඒ ගැන වඩා තියුණු අවධානයක් යොමු කළ යුතු වෙයි.</verse>
				<verse number="2">මන්ද දේව දූතයින් විසින් ප්‍රකාශිත පණිවුඩය වලංගුව, හැම අපරාධයකට හා අකීකරුකමකට නිසි ප්‍රතිවිපාක ලැබුණේ වී නම්,</verse>
				<verse number="3">ඒ සා ශ්‍රේෂ්ඨ ගැලවීම නො සලකා සිටියොත් අප කොහොම ගැලවෙන්න ද? එය පළමු කොට ස්වාමින්වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදුව, එය ඇසූවන් විසින් අපට සහතික කර ඇත.</verse>
				<verse number="4">තවද ලකුණු ද පුදුම ද නොයෙකුත් හාස්කම් ද ස්වකීය කැමැත්තට අනුව එකිනෙකාට බෙදා දුන් ශුද්ධාත්ම දීමනා ද මඟින් දෙවියන්වහන්සේ ද ඒ ගැන සාක්ෂි දැරූ සේක.</verse>
				<verse number="5">අප කතා කරන මතු පැමිණෙන ලෝකය දෙවියන්වහන්සේ යටත් කර දෙනු ලැබුවේ දේව දූතයනට නො වේ.</verse>
				<verse number="6">එක් තැනක, ඒ ගැන සාක්ෂි දරා ඇත්තේ, “ඔබගේ අවධානය යොමු කිරීමට මිනිසා කවරෙක් ද? ඔබ සැලකිලිමත් වීමට, මනුෂ්‍ය පුත්‍රයා කවරෙක් ද?</verse>
				<verse number="7">මද කලකට දේව දූතයින්ට වඩා ඔහු මඳක් පහත් වන්නට සැලසූ ඔබවහන්සේ, තේජසේ හා ගෞරවයේ කිරුළ ඔහුට පැලඳුවේ,</verse>
				<verse number="8">සියලු දේම ඔහුගේ පයට යටත් කරමිනි” යනුවෙනි. උන්වහන්සේ සියල්ල උන්වහන්සේගේ පයට යටත් කළ සේක්, උන්වහන්සේ යටතට පත් නො කළ කිසිවක්ම නැත. එහෙත් හැම දෙයක්ම උන්වහන්සේට යටත්ව ඇති වග තවමත් අපට නො පෙනේ.</verse>
				<verse number="9">එහෙත් හැම කෙනකු උදෙසාම දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් මරණය අත්විඳින පිණිස, මදකට දේව දූතයනට වඩා පහත් කරනු ලැබූ යේසුස්වහන්සේ, මරණය විඳීම හේතු කොට, තේජසේ හා ගෞරවයේ කිරුළ පැලඳ සිටිනු අපට පෙනේ.</verse>
				<verse number="10">සියලු දේ පවතින්නේ කවුරුන් උදෙසා ද, කවුරුන් හේතු කොට ද ඒ තැනැන්වහන්සේ බොහෝ පුත්‍රයින් තේජසට ගෙනෙන කල, ඔවුන්ගේ ගැලවීමේ නිර්මාතෘන් වධ විඳීමේ අත්දැකීම් තුළින් සම්පූර්ණත්වයට පත්ව සිටීම යෝග්‍යව තිබිණි.</verse>
				<verse number="11">මන්ද පවිත්‍ර කරන්නා ද පවිත්‍ර කරනු ලබන්නන් ද එකම පියාණන් කෙනකුගෙනි. සහෝදරයින් යයි ඔවුන් ඇමතීමට උන්වහන්සේ ලජ්ජා නො වූයේ එබැවිනි.</verse>
				<verse number="12">උන්වහන්සේ කියනුයේ, “ඔබගේ නාමය මම මගේ සහෝදරයින්ට ප්‍රකාශ කරමි; සභාව මධ්‍යයයේ ඔබගේ ප්‍රශංසාව ගයන්නෙමි”</verse>
				<verse number="13">නැවතත්, “මාගේ විශ්වාසය මම උන්වහන්සේ පිට තබන්නෙමි” නැවතත්, “මෙන්න මමයි, දෙවියන්වහන්සේ මට දුන් දරුවොයි.”</verse>
				<verse number="14">එම දරුවන් ලෙයින් හා මසින් පංගුකාර වූ බැවින් උන්වහන්සේ ද එම ස්වභාවයට පංගුකාර වූ සේක. එසේ කළේ, මරණය මඟින් මරණයේ බලධාරියා වන යක්ෂයා විනාශ කරන පිණිසත්,</verse>
				<verse number="15">මුළු ජීවිත කාලය මරණ බයින් වහල්කමට යටවී සිටියවුන් නිදහස් කරන පිණිසත් ය.</verse>
				<verse number="16">මන්ද සැබවින් ම උන්වහන්සේ පිහිට වන්නේ, දේව දූතයිනට නො වේ; උන්වහන්සේ පිහිට වන්නේ, ආබ්‍රහම්ගේ වංශයට වග පැහැදිලි ය.</verse>
				<verse number="17">මේ හේතුව නිසා ජනයාගේ පාප උදෙසා වන්දි නිවාරණය කරන්නට දෙවියන්වහන්සේ ඉදිරියේ සේවාවට දයාවන්ත, විශ්වාසනීය උත්තම පූජකයකු වන පිණිස, තම සහෝදරයින්ගේ තත්වයට හැම අතින්ම සමාන වන්නට උන්වහන්සේට යුතුව තිබිණි.</verse>
				<verse number="18">මන්ද පරීක්ෂා කරනු ලැබ, උන්වහන්සේම වේදනා වින්ද බැවින්, පරීක්ෂාවනට හසුව සිටින්නවුනට පිහිට වීමට උන්වහන්සේට පුළුවන.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">එබැවින් ස්වර්ගීය කැඳවීමට පංගුකාර වූ ශුද්ධ වූ සහෝදරයිනි, අපගේ ඇදහිල්ලේ අපෝස්තුලුවරයාණන් හා උත්තම පූජකයාණන් වන යේසුස්වහන්සේ වෙත ඔබගේ සිත් යොමන්න.</verse>
				<verse number="2">දෙවියන්වහන්සේගේ මුළු ගෘහයට මෝසෙස් විශ්වාසීව සිටි සේ, මුන්වහන්සේ ද තමා පත් කළ තැනැන්වහන්සේට විශ්වාසී වූ සේක.</verse>
				<verse number="3">ගෘහයට වඩා එම ගෘහය ඉදිකරන්නා ගෞරවය ලැබිය යුතු සේ, යේසුස්වහන්සේ ද මෝස‍ෙස්ට වඩා බොහෝ ගෞරව ලබන්නට වටින බවට පිළිගනු ලැබේ.</verse>
				<verse number="4">මන්ද හැම ගෘහයක්ම ගොඩ නගනු ලබන්නේ යමකු විසිනි. එහෙත් හැම දෙයක්ම ගොඩ නගන්නා දෙවියන්වහන්සේ ය.</verse>
				<verse number="5">මතු කල පවසන දෑ ගැන සාක්ෂි දරමින්, මෝසෙස් දෙවියන්වහන්සේගේ මුළු ගෘහයේ සේවකයකු මෙන් විශ්වාසවන්ත වූයේ ය.</verse>
				<verse number="6">එහෙත් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ ගෘහයේ පුත්‍රයකු සේ විශ්වාසී වූ සේක. අපගේ විශ්වාසය හා අප උදම් අනන බලාපොරොත්තුව තදින් අල්ලාගෙන සිටින්නෙමු නම්, උන්වහන්සේගේ ගෘහය අප ය.</verse>
				<verse number="7">එබැවින් ශුද්ධාත්මයාණන්වහන්සේ පවසන පරිදි: “අද ඔබ, උන්වහන්සේගේ කටහඬ අසනවා නම්,</verse>
				<verse number="8">කාන්තාරයේ පරීක්ෂා දවසේ, කැරැල්ලේදී වූවාක් මෙන්, ඔබේ හදවත් දැඩි කර නො ගන්න.</verse>
				<verse number="9">එහිදී ඔබේ පියවරු මා පරීක්ෂා කරමින්, මා සෝදිසි කර, මා කළ ක්‍රියා, හතළිස් වසරක්ම දුටුවහ.</verse>
				<verse number="10">එබැවින් ඒ පරපුර සමඟ කෝපව, මම මෙසේ කීවෙමි; ‘හදවත්වලින් ඔවුහු හැම විට මුළාව යන්නෝ ය, මාගේ මාර්ග, ඔවුන් හැඳින ගත්තේ නැත.’</verse>
				<verse number="11">මාගේ උදහසින් මා දිවුරූ ලෙස, ‘මාගේ විශ්‍රාමයට ඔවුන් ඇතුළු වන්නේ නැත.’ ”</verse>
				<verse number="12">සහෝදරයිනි, ජීවමාන දෙවියන්වහන්සේ වෙතින් ඉවත හැරෙන දුෂ්ට, නො ඇදහිලිකාර හදවතක් ඔබ කිසිවකුට නො තිබෙන ලෙසට වගබලා ගන්න.</verse>
				<verse number="13">ඔබ කිසිවකු පාප මායාවෙන් දැඩි නො වන පිණිස, දවස්පතා “අද ය” කියන තාක්, එකිනෙකා ධෛර්යවත් කරන්න.</verse>
				<verse number="14">මන්ද අපගේ පළමු විශ්වාසය අවසානය දක්වා තදින් අල්ලාගෙන සිටිනවා නම්, ක්‍රිස්තුස්වහන්සේ සමඟ අපි පංගුකාර වන්නෙමු.</verse>
				<verse number="15">කියා ඇති පරිදි මෙසේ ය: “අද ඔබ, උන්වහන්සේගේ කටහඬ අසනවා නම්, කැරැල්ලේදී ක්‍රියා කළ සේ, ඔබේ හදවත් දැඩි කර නො ගන්න.”</verse>
				<verse number="16">මන්ද අසා, කැරලි ගැසුවෝ කවරහු ද? ඔවුහු මෝස‍ෙස්ගේ මඟ පෙන්වීම යටතේ ඊජිප්තුවෙන් නික්ම ආ සියල්ලෝ නො වෙත් ද?</verse>
				<verse number="17">හතළිස් වසරක් පුරා උන්වහන්සේ කෝප වූයේ කවුරුන් සමඟ ද? පව් කොට, කාන්තාරයේ වැටී, මළකඳන් බවට පත්වූවන් සමඟ නො වේ ද?</verse>
				<verse number="18">තමන්වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වන්නේ නැතැයි උන්වහන්සේ දිවුරුවේ අකීකරුවූවන්ට මිස වෙන කවුරුන්ට ද?</verse>
				<verse number="19">එබැවින් එහි පිවිසීමට ඔවුන්ට නො හැකි වූයේ නො ඇදහිල්ල නිසා බැව් අපට පෙනේ.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">එබැවින්, උන්වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වීමේ පොරොන්දුව තවමත් වලංගුව තිබියදී, ඔබෙන් යමකු එහි ඇතුළු වීමට අසමත් වේය කියා පෙනේදෝයි බය වෙමු.</verse>
				<verse number="2">මන්ද ඔවුනට මෙන්ම අපට ද ශුභාරංචිය පැමිණ තිබේ. එහෙත් ඇසූවන් සමඟ ඔවුන් ඇදහිල්ලෙන් එක්සත් නො වූ බැවින්, ඇසූ පුවතින් ඔවුනට සෙතක් වූයේ නැත.</verse>
				<verse number="3">මන්ද විශ්වාස කළ අප එම විශ්‍රාමයට ඇතුළු වන්නේ උන්වහන්සේ කී පරිදි, “මාගේ උදහසින් මා දිවුළ ලෙස, ඔවුන් මාගේ විශ්‍රාමයට ඇතුළු වන්නේ නැත.” එසේ වුව ද, ලෝකයේ අත්තිවාරම පටන්ම උන්වහන්සේගේ කාරිය නිම කරනු ලැබ තිබිණ.</verse>
				<verse number="4">මන්ද උන්වහන්සේ හත්වන දවස ගැන එක් තැනක කතා කරමින්: “දෙවියන්වහන්සේ මැවීමේ ස්වකීය සියලු වැඩවලින් හත්වන දවසේ විශ්‍රාම ගත් සේකැ” යි පවසා තිබේ.</verse>
				<verse number="5">තවද මේ පාඨයේ, “මාගේ විශ්‍රාමයට ඔවුන් ඇතුළු වන්නේ නැතැ” යි උන්වහන්සේ පවසන සේක.</verse>
				<verse number="6">මුලින් ශුභාරංචිය ඇසූවන් අකීකරුකම නිසා, ඒ විශ්‍රාමයට ඇතුළු වීමට අසමත් වුව ද, ඇතමුනට එහි ඇතුළු වීමට තවමත් අවකාශ තිබෙන බැවින්,</verse>
				<verse number="7">උන්වහන්සේ දිගු කලකට පසු දාවිත් තුළින් කතා කරමින්: “අද ඔබ, උන්වහන්සේගේ කටහඬ අසනවා නම්, ඔබේ හදවත් දැඩි කර නො ගන්නැ” යි “අද ය” කියා පවසමින්, ඊට දවසක් යළි නියම කර තිබේ.</verse>
				<verse number="8">මන්ද යෝෂුවා ඔවුන්ට සැබෑ විශ්‍රාමය සලසා දුන්නා නම්, විශ්‍රාමය පිළිබඳ තවත් දවසක් ගැන දෙවියන්වහන්සේ ඉන්පසු කතා නො කරන්නට තිබිණි.</verse>
				<verse number="9">දෙවියන්වහන්සේගේ ජනතාවට එබැවින්, සබත් විශ්‍රාමයක් තවමත් ඉතිරිව තිබේ.</verse>
				<verse number="10">දෙවියන්වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වන අය, උන්වහන්සේ කළ පරිදි තම වැඩවලින් විශ්‍රාම ගනිති.</verse>
				<verse number="11">එබැවින් එම ආකාරයේ අකීකරුකමින් අප කිසිවකුත් වැටී නො යන පිණිස, ඒ විශ්‍රාමයට ඇතුළු වීමට පරිශ්‍රම දරමු.</verse>
				<verse number="12">මන්ද දෙවියන්වහන්සේගේ වචනය ජීවමාන ය; ක්‍රියාකාරී ය; කවර දෙමුහත් කඩුවකටත් වඩා මුවහත් ය; ජීවය හා ආත්මය ද සන්ධි හා ඇට මිදුලු ද විනිවිද වෙන් කර, හදවතේ සිතිවිලි හා ආකල්ප විමසයි.</verse>
				<verse number="13">කිසි මැවිල්ලක් උන්වහන්සේගේ ඇසින් සැඟවී නැත. අප විසින් ගණන් දිය යුතු වූ තැනැන්වහන්සේගේ ඇස් හමුවේ හැම දෙයක්ම නිරාවරණ ය; විවෘත ය.</verse>
				<verse number="14">එබැවින්, අහස් මණ්ඩල පසුකර ගියාවූ දෙවියන්වහන්සේගේ පුත්‍ර යේසුස් නම් වූ ශ්‍රේෂ්ඨ උත්තම පූජකයකු අපට සිටින බැවින් අපේ විශ්වාසයෙහි තදින් එල්බගෙන සිටිමු.</verse>
				<verse number="15">මන්ද අපට සිටින්නේ, අපගේ දුබලතා ගැන අනුකම්පා කරන්නට නො හැකි කෙනකු නො ව, හැම අයුරින්ම අප හා සමානව පරීක්ෂාවනට ලක් කරනු ලැබූ, එහෙත් පවින් තොර, උත්තම පූජකයාණන් කෙනෙකි.</verse>
				<verse number="16">එබැවින්, දයාව හා අනුග්‍රහය අවැසි වෙලාවට ලබන පිණිස, අනුග්‍රහයේ සිංහාසනය වෙත දැඩි විශ්වාසයෙන් ළඟා වෙමු.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">මිනිසුන් අතරින් තෝරාගනු ලබන හැම උත්තම පූජකයකුම, පඬුරුත්, පාප උදෙසා යාග පූජාත් ඔප්පු කිරීමට මිනිසුන් උදෙසා දෙවියන්වහන්සේට අදාළ කාරණා සම්බන්ධව පත් කර ගනු ලබන්නෙකි.</verse>
				<verse number="2">ඔහු ද දුබලතාවනට හසුව සිටින්නකු බැවින්, දැනුවත් නො වූවන් හා මුළා වූවන් වෙත මෘදුකමින් කටයුතු කිරීමට ඔහුට පුළුවන.</verse>
				<verse number="3">ජනයාගේ පාප උදෙසා මෙන්ම, තමාගේම පාප උදෙසාත් පාප පූජා යාග කිරීමට ඔහුට යුතුව ඇත්තේ එබැවිනි.</verse>
				<verse number="4">ආරොන් කැඳවනු ලැබූ පරිදි, දෙවියන්වහන්සේ කැඳවනු ලැබුවොත් මිස, කිසිවකු මෙම ගෞරවය තමන්ටම පවරා ගන්නේ නැත.</verse>
				<verse number="5">එලෙසම ක්‍රිස්තුස්වහන්සේත් තමා උත්තම පූජකයකු කරනු ලැබීමේ ගෞරවය, තමාටම ගත්තේ නැත. උන්වහන්සේ පත් කරනු ලැබුවේ උන්වහන්සේට මෙසේ කී තැනැන්වහන්සේ ය, “ඔබ මාගේ පුත්‍රයාණන් ය; අද මම ඔබ ජනිත කළෙමි.”</verse>
				<verse number="6">තවත් තැනක උන්වහන්සේ මෙසේ පවසන සේක, “මෙල්කිසදෙක්ගේ පිළිවෙළට අනුව, ඔබ සදහට ම පූජකයෙක් ය.”</verse>
				<verse number="7">යේසුස්වහන්සේ මාංසයේ විසූ දවස්හි, තමන් මරණින් ගැලවීමට සමත් තැනැන්වහන්සේට බලවත් හැඬීමෙන් හා කඳුළින් යුතුව, යාච්ඤා හා අයැදුම් ඔප්පු කළ සේක්, උන්වහන්සේගේ දේව ගරු බිය හේතුවෙන් එය අසනු ලැබිණ.</verse>
				<verse number="8">උන්වහන්සේ පුත්‍රයකු වුව ද, තමන් වින්ද දෙයින් කීකරුකම උගත් සේක.</verse>
				<verse number="9">තවද සම්පූර්ණත්වයට පත් කරනු ලැබ, උන්වහන්සේ තමන්ට කීකරු වන සියල්ලනට සදාතන ගැලවීමේ උල්පත බවට පත් වූයේ,</verse>
				<verse number="10">මෙල්කිසදෙක්ගේ පිළිවෙළට අනුව උත්තම පූජක නිලයට දෙවියන්වහන්සේ විසින් නම් කරනු ලැබීමෙනි.</verse>
				<verse number="11">මේ සම්බන්ධව කියන්නට අපට බොහෝ දෑ ඇතත්, අසන්නට ඔබ අලස බැවින් ඒවා පැහැදිලි කිරීම දුෂ්කර ය.</verse>
				<verse number="12">මේ වන විට ඔබ ගුරුවරුන්ව සිටිය යුතු වුව ද, දෙවියන්වහන්සේගේ කියමන්වල මූලික ප්‍රතිපත්ති ඔබට ඉගැන්විය යුතුව තිබේ. ඔබට ඕනෑ කිරි ය; ඝන ආහාර නො වේ.</verse>
				<verse number="13">කිරි බීමෙන් ජීවත් වන කවුරුන් වුවත් ඔහු දරුවකු බැවින්, ධර්මිෂ්ඨකමේ වචනයෙහි ඔහු නිපුණ නැත.</verse>
				<verse number="14">එහෙත් ඝන ආහාර, හොඳ-නරක තෝරා බේරා ගැනීමට පුරුද්දෙන් නිති පුහුණු වූ මේරූ අය සඳහා ය.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">එබැවින් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ ආරම්භක ඉගැන්වීම් පසු කොට, එහි පරිණත තත්වයට යා යුත්තේ, එහි අත්තිවාරම් නැවත දැමීමෙන් තොරව ය; එනම් මළ ක්‍රියා ගැන පසුතැවීම, දෙවියන්වහන්සේ වෙත ඇදහීම,</verse>
				<verse number="2">බව්තීස්මයන් පිළිබඳ ඉගැන්වීම, අත් තැබීම, මළවුන්ගෙන් නැගිටීම හා සදාතන විනිශ්චය යන දෑ ය.</verse>
				<verse number="3">දෙවියන්වහන්සේ වර දෙන සේක් නම්, අපි එසේ කරන්නෙමු.</verse>
				<verse number="4">මන්ද වරක් සත්‍යාබෝධ කරනු ලැබූ, ස්වර්ගීක දීමනාවේ රස විඳි, ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ පංගුකාර වූ,</verse>
				<verse number="5">දෙවියන්වහන්සේගේ වචනයේ යහගුණ හා මතු එළඹෙන යුගයේ බලය දිව ගෑ අය</verse>
				<verse number="6">වැටී ගියහොත්, යළි නගා සිටුවීම සඳහා පසුතැවිල්ලට ගෙන ඒම කළ නො හැක්කකි; ඔවුහු තමන්ටම හානියක් ද උන්වහන්සේට නිග්‍රහ ද කරමින්, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් නැවතත් කුරුසියේ ඇණ ගසති.</verse>
				<verse number="7">නිතර එය පිට වැටෙන වැස්ස උරා ගනිමින්, වගා කරන්නන්ට පලදායි අස්වැන්නක් උපදවා දෙන පොළොව, දෙවියන්වහන්සේගෙන් ආශිර්වාද ලබයි.</verse>
				<verse number="8">එහෙත් එය උපදවා දෙන්නේ කටු හා ගොකටු පඳුරු පමණක්ම නම්, එහි ඇති වටිනාකමක් නැතිවාත් හැර, එය ශාප ලැබීමේ අවදානමේ සිටී. එහි අවසානය දවා දමනු ලැබීමයි.</verse>
				<verse number="9">අප මෙසේ පවසනවා වුව ද ප්‍රේමණීයයනි, ඔබ සම්බන්ධව නම්, ගැලවීමට අදාළ වඩා හොඳ තත්වයට ඔබ අයිති වග, අපට සහතිකයි.</verse>
				<verse number="10">මන්ද ඔබගේ වැඩ හා ඔබ තවමත් කරන පරිදි ශුද්ධවතුනට උපකාර කරමින්, උන්වහන්සේ උදෙසා ඔබ දක්වන ප්‍රේමය නො සලකා හැරීමට දෙවියන්වහන්සේ අසාධාරණ නැත.</verse>
				<verse number="11">එසේම ඔබ හැම කෙනකුම අවසානය දක්වා ඔබගේ බලාපොරොත්තුවේ සම්පූර්ණ සහතිකය එම උද්යෝගයෙන්ම දරා සිටිනු දැක්ම අපගේ ආශාවයි.</verse>
				<verse number="12">ඒ, ඔබ අලසයින් නො වී, ඇදහිල්ලත්, ඉවසීමත් මඟින් පොරොන්දු උරුම කරගන්නවුන්ගේ ආදර්ශය අනුගමන කරන පිණිස ය.</verse>
				<verse number="13">දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වන කල, දිවුරුම් දීමට තමන්වහන්සේට වඩා උතුම් කෙනෙක් නො වූ බැවින් තමන්ම ගැන දිවුරමින්,</verse>
				<verse number="14">“මම සත්තකින්ම ඔබට ආශිර්වාද කරන්නෙමි; ඔබ වැඩි වර්ධන කරන්නෙමි” යි කී සේක.</verse>
				<verse number="15">මෙසේ ආබ්‍රහම් ඉවසිලිවත්ව බලා සිට, පොරොන්දුව ලබා ගත්තේ ය.</verse>
				<verse number="16">මන්ද මිනිසුන් තමනට වඩා උසස් කෙනකු ගැන දිවුරමින් දෙන දිවුරුමෙන් ඔවුන්ගේ වාද භේද සියල්ල සමථයට පත් වේ.</verse>
				<verse number="17">දෙවියන්වහන්සේ එබැවින් තම අභිප්‍රායේ වෙනස් නො වන ස්වභාව පොරොන්දුවේ උරුමකරුවනට වඩා විශ්වාසදායීව පෙන්වා දීමට ආශා වූ සේක්, එය දිවුරුමකින් ඇප වූ සේක.</verse>
				<verse number="18">එසේ කළේ, දෙවියන්වහන්සේටම බොරුකීම කළ නො හැකි වන වෙනස් නො වන කාරණ දෙකක් මත, ආරක්ෂාව ලබන්නට පලා ආ අපට, අප ඉදිරියේ තබා ඇති බලාපොරොත්තුව දැඩිව අල්ලා ගැනීමට ප්‍රබල ධෛර්යයක් ලැබෙන පිණිස ය.</verse>
				<verse number="19">ආත්මයට ඇති නියතවූත්, ස්ථිරවූත් නැංගුරමක් සේ අපට තිබෙන මෙම බලාපොරොත්තුව තිරයට එහායින් ඇතුළු ශුද්ධස්ථානයටම පිවිසෙයි.</verse>
				<verse number="20">මෙල්කිසදෙක්ගේ පිළිවෙලේ සදහට ම උත්තම පූජකයකු බවට පත් පසු, අප උදෙසා අප පෙර ගමන්කරු ලෙස යේසුස්වහන්සේ ගියේත් එතැනට ය.</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">මන්ද සාලෙම්හි රජ්ජුරුවන් වූ මෙම මෙල්කිසදෙක්, පරමෝත්තම දෙවියන්වහන්සේගේ පූජකයාණෝ ය. රජුන් ඝාතන කර, ආපසු එමින් සිටි ආබ්‍රහම් මුණ ගැසුණු ඔහු, ඔහුට ආශිර්වාද කළේ ය.</verse>
				<verse number="2">ආබ්‍රහම්, තමන් වෙත වූ සියල්ලෙන් දසයෙන් කොටසක් ඔහුට වෙන් කර දුන්නේ ය. පළමුව ඔහුගේ නමේ අරුත ලෙස, ඔහු ධර්මිෂ්ඨත්වයේ රජ්ජුරුවෝ ය; ඊ ළඟට, සාලෙම්හි ද රජ්ජුරුවෝ ය; සාලෙම්හි රජ යන්නෙහි අරුත සාමයේ රජ්ජුරුවෝ ය.</verse>
				<verse number="3">පියකු, මවක හෝ වංශ පරම්පරාවකින් තොර, දින වකවානු පටන් ගැන්මක්, ජීවිතයේ අවසානයක් නො මැති ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් හා සමාන සදාතන පූජකයකුව පැවත සිටී.</verse>
				<verse number="4">මේ මිනිසා කෙතරම් ශ්‍රේෂ්ඨයකු විය යුතුදැයි සිතා බලන්න. ආදි පිය ආබ්‍රහම් පවා, කොල්ලයෙන් ගත් දෙයින් දසයෙන් කොටසක් ඔහුට දුන්නේ ය.</verse>
				<verse number="5">තමන්ගේ සහෝදරයින් වූ සෙසු ජනයා ද ආබ්‍රහම්ගෙන් පැවත එන්නන් වුව ද, ඔවුන්ගෙන් දසයෙන් කොටසක් ලැබීමට ලෙවීගෙන් පැවත එන, පූජකත්වය ලැබූවන්ට දහම් නීතියෙන් නියමිත ය.</verse>
				<verse number="6">එහෙත් ඔවුන්ගෙන් පැවතෙන්නකු නො වූ මේ මිනිසා, ආබ්‍රහම්ගෙන් දසයෙන් කොටස පිළිගෙන, පොරොන්දු ලද තැනැත්තා වූ ඔහුට ආශිර්වාද කළේ ය.</verse>
				<verse number="7">උසස් තැනැත්තා වෙතින් පහත් තැනැත්තා ආශිර්වාද ලබන වග විවාදයෙන් තොර ය.</verse>
				<verse number="8">මෙහිදී දසයෙන් කොටස් පිළිගන්නේ මැරෙන සුළු මිනිසුන් ය; එහිදී ජීවත් වන්නේ යයි සාක්ෂි ලැබූ කෙනෙකි.</verse>
				<verse number="9">දසයෙන් කොටස් ලබන්නා වූ ලෙවී පවා ආබ්‍රහම් තුළින් දසයෙන් කොටස ගෙවීයැයි කෙනකු කිව හැකි ය.</verse>
				<verse number="10">මන්ද මෙල්කිසදෙක් ආබ්‍රහම් හමුව වන කල්හි ලෙවී, තම ආදි පියාගේ සිරුර තුළ සිටියේ ය.</verse>
				<verse number="11">ලෙවීය පූජකත්වය මඟින් සම්පූර්ණත්වය අත්කර ගත හැකි වී නම්, (මන්ද ජනයා දහම් නීතිය ලද්දේ ඒ යටතේ ය) ආරොන්ගේ පිළිවෙළට අනුව පූජකයකු නම් කිරීම මිස, මෙල්කිසදෙක්ගේ පිළිවෙළට අනුව වෙනත් පූජකයකු නැගිටීමේ වැඩිපුර අවශ්‍යතාව කුමක් ද?</verse>
				<verse number="12">මන්ද පූජකත්වයේ වෙනසක් වන කල, දහම් නීතියේ ද වෙනසක් සිදුවීම යුතුව ඇත.</verse>
				<verse number="13">මේ දෑ පැවසුණේ යම් කෙනකු ගැන ද, ඒ තැනැත්තාණන් අයිති වෙනත් ගෝත්‍රයකට ය. එම ගෝත්‍රයේ කිසිවකු පූජාසනයේ මෙහෙවර කර නැත.</verse>
				<verse number="14">මන්ද අප ස්වාමින්වහන්සේ පැවත ආවේ යූදා ගෝත්‍රයෙන් බව පැහැදිලි ය. එම ගෝත්‍රයට අදාළව පූජකයින් ගැන කිසිවක් මෝසෙස් පවසා නැත.</verse>
				<verse number="15">අප කී දෑ වඩාත් පැහැදිලි වන්නේ මෙල්කිසදෙක් හා සමාන වෙනත් පූජකයකු,</verse>
				<verse number="16">එනම්, ශාරීරික පෙළපත්වලට අදාළ නීතිමය නියමයන් පදනම් කොට නො ව, විනාශ කරන්නට බැරි ජීවිතයක බලය මඟින් පූජකවරයට පත් වූ කෙනකු නැගුටුණු කල්හි ය.</verse>
				<verse number="17">මන්ද උන්වහන්සේ ගැන සාක්ෂි ඇත, එනම්: “මෙල්කිසදෙක්ගේ පිළිවෙළට අනුව, ඔබ සදහට ම පූජකයෙක් ය” යන්නයි.</verse>
				<verse number="18">අනෙක් අතට, පැරණි ආඥාව එහි දුබලතා හා නිෂ්ඵලතා හේතු කොට ඉවත ලනු ලැබ ඇත.</verse>
				<verse number="19">(මන්ද දහම් නීතිය කිසිවක් පරිපූර්ණත්වයට පත් කරන්නේ නැත.) එහෙත් අනෙක් අතට, දෙවියන්වහන්සේ වෙතට අප ළං කරවන, වඩා හොඳ බලාපොරොත්තුවක් හඳුන්වා දී තිබේ.</verse>
				<verse number="20">එය දිවුරුමකින් තොරව නො වේ; මන්ද කලින් පූජකයින් පත් වූයේ දිවුරුමකින් තොරව ය.</verse>
				<verse number="21">එහෙත් මෙතුමාණන් පූජකයකු කරනු ලැබ ඇත්තේ මෙලෙස පැවසූ තැනැන්වහන්සේගේ දිවුරුමකිනි: “ස්වාමින්වහන්සේ දිවුළ සේක; ස්වකීය සිත වෙනස් නො කරන සේක; ‘ඔබ සදහට ම පූජකයෙක් ය.’ ”</verse>
				<verse number="22">මෙමඟින් යේසුස්වහන්සේ වඩා හොඳ ගිවිසුමක ඇපකරුවාණන්ව සිටින සේක.</verse>
				<verse number="23">දිගටම පූජක පදවිය දැරීම මරණය විසින් වළක්වන ලද නිසා, ලෙවීය පූජකයෝ ගණනින් බොහෝ වූහ.</verse>
				<verse number="24">එහෙත් මුන්වහන්සේ සදහට ම පැවත සිටින බැවින්, උන්වහන්සේ උසුලන පූජක පදවිය ද නිත්‍ය ය.</verse>
				<verse number="25">එබැවින්, උන්වහන්සේ මඟින් දෙවියන්වහන්සේ වෙත ළඟාවන්නන් සම්පූර්ණයෙන්, සදාතනිකව ගලවන්නට උන්වහන්සේ පොහොසත් ය. මන්ද ඔවුන් උදෙසා මැදිහත් වන්නට උන්වහන්සේ නිබඳවම ජීවත් වන සේක.</verse>
				<verse number="26">සැබවින් ම අපට ගැලපෙන්නේ පාරිශුද්ධ, නිර්දෝෂ, නො කැළැල්, පවිටුන්ගෙන් වෙන් වූ, ස්වර්ගවලට වඩා උසස් කරන ලද එබඳු උත්තම පූජකයාණන් කෙනෙකි.</verse>
				<verse number="27">ඒ උදෙසා එකම වරක් උන්වහන්සේ තමන්ම පූජා වූ බැවින්, සෙසු උත්තම පූජකයින් මෙන්, පළමුව තමන්ගේ පාප උදෙසාත්, ඉන්පසු ජනතාවගේ පාප උදෙසාත් දිනපතා යාග පූජා ඔප්පු කිරීමේ අවශ්‍යතාවක් උන්වහන්සේට නැත.</verse>
				<verse number="28">මන්ද දහම් නීතිය, දුබලතා ඇති මිනිසුන් උත්තම පූජක නිලයට පත් කරන්නේ ය. එහෙත් දහම් නීතියට පසුව පැමිණි දිවුරුමේ වචනය, සදාතන පරිපූර්ණත්වයෙන් යුතු පුත්‍රයාණන් පත් කර ඇත.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">මෙසේ කීමෙන් අප අරමුණු කරන්නේ මෙයයි; ස්වර්ගයේ මහෝත්තමයාණන්ගේ සිංහාසනයේ දකුණු පැත්තේ හිඳ සිටින, එවැනි උත්තම පූජකයාණන් කෙනකු අපට සිටින බවයි.</verse>
				<verse number="2">මිනිසා විසින් නො ව, ස්වාමින්වහන්සේ විසින් පිහිටු වන ලද සැබෑ කූඩාරම් ශුද්ධස්ථානයේ උන්වහන්සේ මෙහෙවරෙහි යෙදෙන බවයි.</verse>
				<verse number="3">හැම උත්තම පූජකයෙක්ම පඬුරු හා යාග ඔප්පු කරනු සඳහා පත් කරනු ලබයි, එබැවින් මෙම උත්තම පූජකයාණන්ටත් ඔප්පු කරන්නට යමක් තිබීම අවශ්‍ය ය.</verse>
				<verse number="4">තවමත් මිහි පිට සිටිනවා නම්, පූජකයකු වීමට උන්වහන්සේට කොහෙත්ම නුපුළුවන. මන්ද දහම් නීතියට අනුව පඬුරු ඔප්පු කරන පූජකයින් සිටින බැවිනි.</verse>
				<verse number="5">ස්වර්ගීය දේවල අනුරූපයකට හා ඡායාවකට ඔවුහු සේවය කරති. මන්ද මෝසෙස් කූඩාරම හදන්නට යද්දී: “කන්දේදී ඔබට පෙන්වූ සැලැස්මට අනුව හැම දේම හදන්නට වගබලා ගන්නැ” යි ඔහු දෙවියන්වහන්සේගෙන් උපදෙස් ලැබී ය.</verse>
				<verse number="6">එහෙත් යේසුස්වහන්සේ ඒ පැරණි එකට වඩා අතිශය උත්තරීතර මෙහෙවරක් අත්කර ගෙන ඇත්තේ, උන්වහන්සේ මැදහත්කම් කරන ගිවිසුම ද වඩා හොඳ එකක් වූ පරිද්දෙනි; මන්ද එය වඩා හොඳ පොරොන්දු මත පිහිටන බැවිනි.</verse>
				<verse number="7">මන්ද ඒ පළමු ගිවිසුම දෝෂ රහිත වී නම්, දෙවැන්නක් ගැන බැලීමේ අවැසිතාවක් ඇති නො වේ.</verse>
				<verse number="8">මන්ද ඔවුන්ට දොස් නගමින්, උන්වහන්සේ මෙසේ පවසන සේක: “මෙන්න! ස්වාමින්වහන්සේ පවසන්නේ මෙයයි, ඉශ්‍රායෙල් වංශය හා යූදා වංශය සමඟ මා අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙයි.</verse>
				<verse number="9">එය, ඊජිප්තු දේශයෙන්, ඔවුන් පිටතට ගෙනෙන පිණිස, මා ඔවුන්ගේ පියවරුන්ගේ අතින් අල්ලාගෙන, ඔවුන් සමඟ කළ ගිවිසුම වගේ නො වේ. මන්ද ඔවුන් දිගටම මාගේ ගිවිසුමේ පැවතුණේ නැත. එබැවින් මමත් ඔවුන් නො සලකා හැරියෙමියි, ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.</verse>
				<verse number="10">මන්ද, ඒ දවස්වලට පසු ඉශ්‍රායෙල් වංශය සමඟ මා කරන ගිවිසුම මෙන්න මේ යයි, ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. මම, මාගේ ආඥා ඔවුන්ගේ මනසේ තබන්නෙමි; ඔවුන්ගේ හදවත්හි ඒවා ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. ඔවුහු මාගේ ජනතාව වන්නෝ ය.</verse>
				<verse number="11">‘ස්වාමින්වහන්සේ හැඳින ගන්න’ කියමින්, කෙනෙක් තම අසල්වැසියාටවත්, කෙනෙක් තම සහෝදරයාටවත් තවත් උගන්වන්නේ නැත; මන්ද ඔවුන්ගේ කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝ, මා හැඳින ගන්නාහ.</verse>
				<verse number="12">මන්ද ඔවුන්ගේ අයුතුකම්වලට මම දයා වන්නෙමි; ඔවුන්ගේ පව් තවත් සිහි නො කරන්නෙමි.”</verse>
				<verse number="13">මෙසේ මෙය “අලුත්” ගිවිසුමකැයි කීමෙන්, දෙවියන්වහන්සේ පළමු එක කල් ඉකුත්වූ එකක් කළ සේක. එසේ කල් ඉකුත්වූ පරණ වන්නා වූ දේ කල් නො ගොසින් අතුරුදහන් වනු ඇත.</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">පළමු ගිවිසුමට අදාළව පවා, නමස්කාරය පිළිබඳ රෙගුලාසි හා භූමික ශුද්ධස්ථානයක් තිබිණ.</verse>
				<verse number="2">මන්ද කූඩාරමක් පිහිටු වන ලදී. එහි පළමු කොටසේ පහන් රුක ද මේසය ද දේවාභිමුඛ රොටි ද විය. මෙය ශුද්ධස්ථානය නමින් හැඳින්විණ.</verse>
				<verse number="3">දෙවන තිරයට පිටුපසින්, අතිශුද්ධස්ථානය නමින් හැඳින්වුණු දෙවන කොටස විය.</verse>
				<verse number="4">එහි රනින් කළ දුම් පූජාසනය ද හැම පැත්තම රනින් වැසූ ගිවිසුම් කරඬුව ද ඒ තුළ මන්නා දැමූ මංජුසාව ද ආරොන්ගේ දළු ලෑ සැරයටිය ද ගිවිසුමේ ගල් පුවරු ද තිබිණ.</verse>
				<verse number="5">ඊට ඉහළින්, කරුණාසනය ආවරණ කර ගත් තේජසේ කෙරුබ්වරු වූහ. මේ දෑ ගැන සවිස්තරව කතා කරන්නට දැන් බැරි ය.</verse>
				<verse number="6">මෙම සූදානම් කිරීම් පිළියෙල කොට තිබියදී, පූජකයෝ නියමිත වතාවත් ඉටු කිරීමට නිතිපතා පළමු ස්ථානය තුළට යති.</verse>
				<verse number="7">එහෙත් දෙවන ස්ථානය තුළට යන්නේ උත්තම පූජකයා පමණි; ඒ ද වසරකට වරකි; ඒ ද තමා උදෙසා හා සෙසු ජනයා නො දැනුවත්ව කළ පාප උදෙසා ඔප්පු කරන පිණිස, ලේ නො මැතිව නො වේ.</verse>
				<verse number="8">ශුද්ධාත්මයාණන්වහන්සේ මෙමඟින් අඟවන්නේ ඒ පළමු ස්ථානය පවතින තුරු ශුද්ධස්ථානයට මාර්ගය තවමත් විවෘත නැති බවයි.</verse>
				<verse number="9">මෙය, වත්මන් යුගයට සංඛේතයකි. ඒ අනුව, නමස්කාර කරන්නාගේ හෘදය සාක්ෂිය සම්පූර්ණ කරන්නට බැරි පඬුරු හා යාග ඔප්පු කරනු ලැබේ.</verse>
				<verse number="10">ඒවා නව ආරේ කාලය උදා වන තෙක්, ශරීරය උදෙසා පනවන ලද, හුදෙක් ආහාර හා පාන ද නොයෙකුත් සේදීම්වලින් ද යුක්ත රෙගුලාසි පමණි.</verse>
				<verse number="11">ක්‍රිස්තුස්වහන්සේ, දැන් පැමිණ තිබෙන යහපත් දේවල උත්තම පූජකයාණන් වශයෙන් පැමිණි කල, (අත්වලින් තනනු නො ලැබූ, මේ මැවිල්ලට අයත් නො වූ) උතුම් වූ, වඩා පරිපූර්ණ වූ කූඩාරමට,</verse>
				<verse number="12">ශුද්ධස්ථානයට ඇතුළු වූයේ, එළු ලේ හා ගව ලේ මඟින් නො ව, තමන්වහන්සේගේ ලේ මඟින් සදාතන මිදීම සලසමින්, සදහට ම එක් වරක් පමණි.</verse>
				<verse number="13">මන්ද මාංසයේ පවිත්‍ර වීමට, එළුවන්ගේ හා ගවයින්ගේ ලේ ද දවන ලද එළ වැස්සියකගේ අළු ද ඉසීමෙන් අපවිත්‍ර කෙනකු පවිත්‍ර කරනු ලැබේ නම්,</verse>
				<verse number="14">ජීවමාන දෙවියන්වහන්සේට සේවය කරන පිණිස, කැළලක් නැතිව තමන්ම, සදාතන ආත්මයාණන් මඟින් දෙවියන්වහන්සේට ඔප්පු වූ ක්‍රිස්තුස්වහන්සේගේ ලේ මඟින් ඊට කොතරම් වැඩියෙන් මළ ක්‍රියා වෙතින් අපගේ හදවත් පවිත්‍ර නො කෙරේ ද!</verse>
				<verse number="15">එබැවින්, පොරොන්දු වූ සදාතන උරුමය, කැඳවනු ලැබූවන් ලබන පිණිස, උන්වහන්සේ අලුත් ගිවිසුමක මැදහත්කරුවාණන් ය. මන්ද ඔවුන් පළමු ගිවිසුම යටතේ කරන ලද පාප අපරාධවලින් ඔවුන් මුදවන මරණයක් සිදු වී ඇත.</verse>
				<verse number="16">මන්ද අන්තිම කැමැත්ත පිළිබඳ කාරණයකදී එම සිදු කළ කෙනාගේ මරණය සහතික විය යුතු වේ.</verse>
				<verse number="17">අන්තිම කැමැත්ත බල පැවැත් වෙන්නේ මරණයෙන් පසුව පමණි. එය ලියූ අය ජීවත්ව සිටින තෙක් එය වලංගු නැත.</verse>
				<verse number="18">එබැවින් පළමු ගිවිසුම පවා, ලෙයින් තොරව පිහිටුවනු ලැබුවේ නැත.</verse>
				<verse number="19">මන්ද දහම් නීතියේ හැම ආඥාවක්ම මුළු මහත් ජනතාවට ප්‍රකාශ කළ පසු, මෝසෙස් වතුර ද රතු ලොම් ද හිසොප් ද සමඟ ගව ලේ හා එළු ලේ ගෙන, එම ලියවිල්ලත්, මුළු මහත් ජනතාවත් පිට ඒවා ඉස්සේ,</verse>
				<verse number="20">“දෙවියන්වහන්සේ ආඥා කළ ගිවිසුමේ ලේ මේ යැ” කියමිනි.</verse>
				<verse number="21">තවද ඔහු කූඩාරමටත්, නමස්කාරය සඳහා වූ භාවිතයට ගැනෙන සියලු භාජනවලටත් ලේ ඉස්සේ ය.</verse>
				<verse number="22">සැබවින් ම, දහම් නීතිය යටතේ හැම දෙයක්ම ලෙයින් පවිත්‍ර කරනු ලැබිණ; ලේ වැගිරීමකින් තොරව, පාප කමා කිරීමක් ද නැත.</verse>
				<verse number="23">එබැවින්, ස්වර්ගීය දේවල අනුරූප, මෙම වත් පිළිවෙත් මඟින් පවිත්‍ර කරනු ලැබීම අවශ්‍යව තිබුණ ද, ස්වර්ගීය දෑ උදෙසා මීට වඩා උතුම් යාග අවශ්‍ය විණි.</verse>
				<verse number="24">මන්ද ක්‍රිස්තුස්වහන්සේ ඇතුළු වූයේ, සැබෑ දේවල අනුරූප වන මිනිස් අතින් සෑදුණු ශුද්ධස්ථානයකට නො වේ; අප උදෙසා දෙවියන්වහන්සේ ඉදිරියේ දැන් පෙනී සිටින පිණිස, උන්වහන්සේ ස්වර්ගයටම ඇතුළු වූ සේක.</verse>
				<verse number="25">ඒ, වසරක් පාසා උත්තම පූජකයා තමන්ගේ නො වන ලේ ගෙන, ශුද්ධස්ථානයට ඇතුළු වන ලෙස නැවත නැවතත් තමන්ම යාගවන්නට නො වේ.</verse>
				<verse number="26">එසේ වී නම්, ලොව මැවූ තැන් පටන් බොහෝ වරක් වධ වේදනා විඳින්නට උන්වහන්සේට සිදුවන්නට තිබිණි. එහෙත් දැන් ඇති පරිදි උන්වහන්සේ තමන්ම යාගවීමෙන් පාපය දුරු කරන පිණිස, යුගවල අවසානයේදී සදහට ම එක් වරක් පමණක් පෙනී සිටි සේක.</verse>
				<verse number="27">එක් වරක් මරණයත්, ඉන්පසු විනිශ්චයත් මිනිසාට නියමව ඇති සේ ම,</verse>
				<verse number="28">ක්‍රිස්තුස්වහන්සේ බොහෝ දෙනකුගේ පාප දරා ගැනීමට එකම වරක් පූජා වූ සේක; පාප ඉසිලීමට නො ව, උන්වහන්සේගේ ඊම ආශාවෙන් බලා සිටින්නන් ගලවන පිණිස, උන්වහන්සේ දෙවන වරටත් පෙනී සිටින සේක.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">දහම් නීතිය, මතු පැමිණෙන හොඳ දේවල ඡායාවක් මිස, ඒවායේ යථා තත්වය නො වන බැවින්, වසරක් පාසා යළි යළිත් ඔප්පු කරන එකම විදියේ පූජාවලින්, ළඟාවන්නන් සම්පූර්ණත්වයට ගෙන ඒමට ඊට කොහෙත්ම නුපුළුවන.</verse>
				<verse number="2">කළ හැකි වී නම්, එම පූජා ඔප්පු කිරීම නවතා දැමිය යුතුව තිබුණා නො වේ ද? මන්ද නමස්කාර කරන්නන් වරක් පවිත්‍ර කරනු ලැබුවා නම්, පාප ගැන හැඟීමක් තවත් නැත.</verse>
				<verse number="3">එහෙත් එම යාග පූජාවලින් කරනුයේ අවුරුදු පතා පාප සිහි කරවීමකි.</verse>
				<verse number="4">මන්ද ගවයින්ගේ හා එළුවන්ගේ ලේවලින් පාප දුරු කරලීම කොහෙත්ම කළ නො හැක්කකි.</verse>
				<verse number="5">එබැවින් ක්‍රිස්තුස්වහන්සේ ලොවට එන කල, උන්වහන්සේ මෙසේ පැවසූ සේක: යාග හා පඬුරුවලට ඔබ ආශා නො වූ සේක. ඔබ මට ශරීරයක් සූදානම් කළ සේක;</verse>
				<verse number="6">දවන පූජා හා පාප පූජා, ඔබට ප්‍රසන්න වූයේ නැත.</verse>
				<verse number="7">එබැවින්, මම මෙසේ කීවෙමි; “පොතේ මා ගැන ලියවී ඇති ලෙස, අහෝ දෙවියන්වහන්ස, මෙන්න මම, ඔබගේ කැමැත්ත කරන්නට ඇවිත් සිටිමි.”</verse>
				<verse number="8">උන්වහන්සේ කතා කොට, “යාග හා පඬුරුවලට ද දවන පූජා හා පාප පූජාවලට ද ඔබ ආශා වූයේ නැත; ඔබට ඒවා ප්‍රසන්න වූයේ ද නැතැ” යි (මේවා ඔප්පු කරන්නේ දහම් නීතියට අනුව ය) පවසා,</verse>
				<verse number="9">පසුව, “මෙන්න! ඔබගේ කැමැත්ත කරන්නට මම ඇවිත් සිටිමි” යි පැවසූ සේක. මෙසේ උන්වහන්සේ දෙවැන්න ස්ථාපිත කරන පිණිස පළමුවැන්න අවලංගු කරන සේක.</verse>
				<verse number="10">එම කැමැත්ත අනුව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය සදහට එක් වරක් පමණක් පූජා කරනු ලැබීමෙන්, අපි පවිත්‍ර කරනු ලැබ සිටිමු.</verse>
				<verse number="11">අනෙක් හැම පූජකයෙක්ම, පාප දුරු කළ නො හැකි එකම විදියේ යාග පූජා යළි යළිත් ඔප්පු කරමින්, තම මෙහෙවරට දිනපතා සිටගනියි.</verse>
				<verse number="12">එහෙත්, පාප උදෙසා සදහට ම එක් යාගයක් පිදූ මුන්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත් සේක.</verse>
				<verse number="13">එතැන් පටන්, තම සතුරන් තම පාදවලට යටත් කරනු ලබන තෙක්, උන්වහන්සේ බලා සිටින සේක.</verse>
				<verse number="14">මන්ද පවිත්‍රත්වයට පමුණුවනු ලබන්නවුන්, ඒ එකම පූජාවෙන් උන්වහන්සේ හැම කාලයකටම සම්පූර්ණත්වයට පත් කළ සේක.</verse>
				<verse number="15">ශුද්ධාත්මයාණන්වහන්සේත් ඒ ගැන අපට සාක්ෂි දෙමින් පළමු කොට මෙසේ කියන සේක:</verse>
				<verse number="16">“ඒ දවස්වලට පසු, මා ඔවුන් සමඟ කරන ගිවිසුම මෙන්න මේ යයි, ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක; මම, මාගේ ආඥා ඔවුන්ගේ හදවත්හි තබා, ඔවුන්ගේ මනස්හි ඒවා ලියන්නෙමි.”</verse>
				<verse number="17">උන්වහන්සේ මෙසේ ද කියන සේක: “ඔවුන්ගේ පාප හා ඔවුන්ගේ නොපනත්කම්, මම තවත් සිහි නො කරන්නෙමි.”</verse>
				<verse number="18">මේවාට කමාව ඇත්තේ කොතැන ද, එතැන පාප උදෙසා යාග පූජාවල අවැසිතාවක් ද නැත.</verse>
				<verse number="19">එබැවින් සහෝදරයිනි, යේසුස්වහන්සේගේ ලේ මඟින් ශුද්ධස්ථානයනට ඇතුළු වීමේ සහතිකය අපට තිබෙන බැවින්,</verse>
				<verse number="20">ස්වකීය ශරීරය නැමති තිරය මැදින් ඇතුළු වීමේ අලුත්, ජීවමාන මාර්ගයක් අපට විවෘත කර දුන් බැවින්</verse>
				<verse number="21">හා දෙවියන්වහන්සේගේ ගෘහයට අදාළ ශ්‍රේෂ්ඨ පූජකයාණන් කෙනකු අපට සිටින බැවින්,</verse>
				<verse number="22">ඉසිනු ලැබීමෙන් අප හදවත් වරදකාර හෘදය සාක්ෂියකින් පවිත්‍ර කරනු ලැබ, අප සිරුරු පිරිසිදු දියෙන් සෝදනු ලැබ, ඇදහිල්ලේ පූර්ණ විශ්වාසයෙන් යුතු අවංක හදවතින් ළඟා වෙමු.</verse>
				<verse number="23">පොරොන්දුව දුන් තැනැන්වහන්සේ විශ්වාසනීය බැවින්, අප ප්‍රකාශ කරන බලාපොරොත්තුව නො සැලී, බදා අල්ලා ගනිමු.</verse>
				<verse number="24">තවද ප්‍රේමයට හා හොඳ වැඩට එකිනෙකා පොලඹවන්නේ කෙසේදැයි සිතා බලමු;</verse>
				<verse number="25">ඇතමුන් කරන ලෙස අප එකට රැස්වීම අතපසු කිරීමෙන් නො ව, ඒ දවස ළංව එන බැව් ඔබට පෙනෙන නිසා, වඩ වඩා එකිනෙකා දිරි ගන්වමින් එසේ කරමු.</verse>
				<verse number="26">සත්‍යය අවබෝධය ලද පසුත්, අප දැන දැනම පව් කරනවා නම්, පාප උදෙසා යාගයක් තවත් ඉතිරිව නැත;</verse>
				<verse number="27">ඇත්තේ විනිශ්චය ගැනත්, සතුරන් දවා දමන උදහස් ගින්න ගැනත් බියජනක බලාහිඳීමක් පමණි.</verse>
				<verse number="28">මෝස‍ෙස්ගේ නීතිය ප්‍රතික්ෂේප කරන කවරකු වුව, දෙදෙනකුගේ හෝ තිදෙනකුගේ හෝ සාක්ෂි මත දයාවක් නො ලබා මරණයට පත් කරනු ලබයි.</verse>
				<verse number="29">ඒ එසේ නම්, ඔබ සිතන්නේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් පාගා දැමුවාවූත්, තමන් පවිත්‍ර කරන ලද ගිවිසුමේ ලේ අශුද්ධ සේ සැලකුවාවූත්, අනුග්‍රහයේ ආත්මයාණන්වහන්සේට නිග්‍රහ කළාවූත් අය කොතරම් බරපතළ දඬුවමකට නියම වෙතැයි කියා ද?</verse>
				<verse number="30">මන්ද, “පළි ගැනීම මගේ ය; මම ආපිට දෙන්නෙමි” යි ද යළිත්, “ස්වාමින්වහන්සේ තම ජනයා විනිශ්චය කරන සේකැ” යි ද පැවසූ තැනැන්වහන්සේ කවුරුදැයි අපි දනිමු.</verse>
				<verse number="31">ජීවමාන දෙවියන්වහන්සේගේ හස්තයට හසුවීම භයංකර ය.</verse>
				<verse number="32">ඔබ ආලෝකවත් කරනු ලැබූ අලුත, පීඩා හමුවේ දැඩි පරිශ්‍රමයක් ඉසිලූ, ඒ පළමු දවස් සිහි කරන්න.</verse>
				<verse number="33">ඒ, විටෙක ප්‍රසිද්ධියේ නින්දා හා හිංසාවනට ලක්වෙමින් හා විටෙක එම හිංසාවලට ලක්වූවන්ගේ හවුල්කරුවන් වෙමිනි.</verse>
				<verse number="34">සිරගත කරනු ලැබූවන්ට ඔබ අනුකම්පාවෙන් සැලකූ අතර ඔබේ දේපළ කොල්ල කෑ කල, සතුටු සිතින් එය බාර ගත්තේ, වඩා හොඳ හා පවතින හිමිකමක් ඔබට ඇති වග දැනගෙන ය.</verse>
				<verse number="35">එබැවින් විශිෂ්ට ත්‍යාග දීමනාවක් හිමි ඔබගේ ඒ විශ්වාසය ඉවත නො දමන්න.</verse>
				<verse number="36">මන්ද දෙවියන්වහන්සේගේ කැමැත්ත කළ පසු, පොරොන්දු වූ දෑ ලබන පිණිස, ඉවසා දරා සිටීම ඔබට අවශ්‍ය ය.</verse>
				<verse number="37">මන්ද, “එන්නට සිටින තැනැත්තාණන්, තව ස්වල්ප කලකින් එනු ඇත; උන්වහන්සේ පමා වන්නේ නැත.”</verse>
				<verse number="38">තවද, “මගේ ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වේ; ඔහු හැකිළී පසුබට වේ නම්, ඔහු තුළ මාගේ ජීවය ප්‍රසන්න වන්නේ නැත.”</verse>
				<verse number="39">එහෙත් අප අයිති, හැකිළී පසුබට වී, විනාශ වන්නන්ට නො ව, අදහා ගැලවීම ලබන්නන්ට ය.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">ඇදහිල්ල නම්, බලාපොරොත්තු වන දේ ගැන ඇති සහතිකයයි; නො දක්නා දේ ගැන ඇති නිසැක කමයි.</verse>
				<verse number="2">මන්ද පැරැන්නන් තම පිළිගැනීමක් ලද්දේ එමඟින් ය.</verse>
				<verse number="3">දෙවියන්වහන්සේගේ වචනයෙන් විශ්වය මවනු ලැබූ වග අප වටහා ගන්නේ ඇදහිල්ලෙනි. මෙසේ පෙනෙන දෙය, නො පෙනෙන දෙයින් පහළ වූ බව පෙනී යයි.</verse>
				<verse number="4">කායින්ට වඩා උතුම් පූජාවක් ආබෙල් දෙවියන්වහන්සේට ඔප්පු කළේ ඇදහිල්ලෙනි. එමඟින් ඔහු ධර්මිෂ්ඨයකු ලෙස පිළිගැනුණේ, දෙවියන්වහන්සේ ඔහුගේ දීමනාව පිළිගනිමින් ඔහු අනුමත කළ කල්හි ය; මිය ගොස් ඇති නමුදු, ඒ ඇදහිල්ලෙන් ඔහු තවමත් කතා කරයි.</verse>
				<verse number="5">මරණය නො දකින පිණිස, ඒනොක් ඔසවා ගනු ලැබුවේ ඇදහිල්ලෙනි: දෙවියන්වහන්සේ ඔහු ගත් බැවින්, ඔහු හමු නො වීය. එසේ ගනු ලැබීමට පෙර, ඔහු දෙවියන්වහන්සේ ප්‍රසන්න කළ වගට සාක්ෂි ලැබිණ.</verse>
				<verse number="6">ඇදහිල්ලෙන් තොරව උන්වහන්සේ ප්‍රසන්න කිරීම කළ නො හැක්කකි; මන්ද දෙවියන්වහන්සේ වෙත ළඟා වන කවරකු වුව ද උන්වහන්සේ වැඩ සිටින වගත්, උන්වහන්සේ සොයන අයට ප්‍රතිවිපාක දෙන වගත් විශ්වාස කළ යුතු වෙයි.</verse>
				<verse number="7">එතෙක් නුදුටු දෑ ගැන දෙවියන්වහන්සේ අනතුරු ඇඟවූ කල, තම දරු පවුල මුදා ගනු පිණිස, ගෞරවනීය බයින් යුතුව, නෝවා නැවක් සෑදුවේ ඇදහිල්ලෙනි. එමඟින් ලෝකය දණ්ඩනයට පත් කළ ඔහු, ඇදහිල්ලෙන් එන ධර්මිෂ්ඨකමේ උරුමකරුවකු වූයේ ය.</verse>
				<verse number="8">ආබ්‍රහම් කැඳවනු ලැබූ කල, කීකරුව, කොහි යන්නේ ද පවා නො දැන, මතු ඔහුට උරුමයක්ව ලැබෙන ස්ථානය බලා පිටත්ව ගියේ ඇදහිල්ලෙනි.</verse>
				<verse number="9">තමා හා එකම පොරොන්දුවේ උරුමකරුවන් වූ ඊසාක් හා යාකොබ් සමඟ කූඩාරම්වල වාසය කරමින්, පොරොන්දු වූ දේශයේ, විදේශයක මෙන් ජීවත් වීමට ඔහු ගියේ ඇදහිල්ලෙනි.</verse>
				<verse number="10">මන්ද ඔහු මග බලා සිටියේ අත්තිවාරම් ඇති පුරවරයක් ගැන ය; එහි සැලසුම්කරු හා ඉදිකිරීම්කරු දෙවියන්වහන්සේ ය.</verse>
				<verse number="11">පොරොන්දු වූ තැනැන්වහන්සේ විශ්වාසනීය වග පිළිගත් බැවින්, තමාගේ නිසි වයස පසුවී වුව ද සාරා පිළිසිඳ ගැනීමට බලය ලද්දේ ඇදහිල්ලෙනි.</verse>
				<verse number="12">මළ මිනිසකු වැනි වූ එක මිනිසකුගෙන් අහසේ තරු මෙන් බොහෝ වූ ද මුහුදු වෙරළේ වැලි මෙන් අනන්ත වූ ද දරු පරපුරක් බිහි වූයේ එබැවිනි.</verse>
				<verse number="13">ඇදහිල්ලෙහි පිහිටා සිටි මේ හැම කෙනකුම මිය ගියේ, පොරොන්දු වූ දෑ නො ලැබ, එහෙත් ඒවා දුරතියා දැක, සාදරයෙන් ඒවා පිළිගනිමිනි; තමන් මේ පොළොවට පිටදේශක්කරුවන් හා ආගන්තුකයින් වග පිළිගනිමිනි.</verse>
				<verse number="14">මන්ද මෙසේ පවසන අය තමන්ගේම වාස-භූමියක් සොයනා වග ප්‍රකට කරති.</verse>
				<verse number="15">තමන් පිටත්ව ආ දේශය, තමන්ගේ දේශය වශයෙන් ඔවුහු සිතා සිටියාහු නම්, ආපසු එහි හැරී යෑමට ඔවුනට අවස්ථාව තිබිණි.</verse>
				<verse number="16">එහෙත් ඔවුන් ආශාවෙන් පසු වූයේ, වඩා උතුම් දේශයක්, ස්වර්ගීය දේශයක් ගැන ය. එබැවින් දෙවියන්වහන්සේ, ඔවුන්ගේ දෙවියන්වහන්සේ යැයි අමතනු ලැබීමට ලජ්ජා නො වූ සේක. උන්වහන්සේ ඔවුනට ස්වර්ගීය පුරවරයක් සූදානම් කොට තැබූ සේක.</verse>
				<verse number="17">පරීක්ෂා කරනු ලැබූ කල, ආබ්‍රහම් ඊසාක් ඔප්පු කළේ ඇදහිල්ලෙනි; පොරොන්දුව ලැබ සිටි තැනැත්තා තම එකම පුත්‍රයා පූජා කරන්නට වූයේ,</verse>
				<verse number="18">“ඔබගේ වංශය නම් කෙරෙන්නේ ඊසාක් මඟිනි” යි ඔහු ගැන පවසා තිබියදී ය.</verse>
				<verse number="19">උපමා අලංකාරයෙන් කියතහොත් ඔහු ඊසාක් නැවත ලබා ගත්තේ ය. ඒ මළවුන් වුව නැගිටුවන්නට දෙවියන්වහන්සේට පුළුවනැයි සැලකූ බැවිනි.</verse>
				<verse number="20">යාකොබ් හා ඒසව්ගේ මතු අනාගතය සලකා, ඊසාක් ඔවුනට ආශිර්වාද කළේ ඇදහිල්ලෙනි.</verse>
				<verse number="21">මරණ මංචකයේ යාකොබ් තම සැරයටියට බර වී, මුදුනට හිස නමා, නමස්කාර කරමින්, යෝසෙප්ගේ පුතුන්ට වෙන්, වෙන්ව ආශිර්වාද කළේ ඇදහිල්ලෙනි.</verse>
				<verse number="22">තම අවසන් මොහොතේ යෝසෙප්, ඉශ්‍රායෙල් ජනයාගේ නික්මයෑම මතක් කර, තම ඇටකටු ගැන උපදෙස් දුන්නේ ඇදහිල්ලෙනි.</verse>
				<verse number="23">මෝසෙස් උපන් කල, ඔහු පියකරු දරුවකු වග දුටු ඔහුගේ මව්පිය දෙපොළ රාජ නියෝගයට බය නො වී, තුන් මසක්ම ඔහු සඟවා තබා ගත්තේ ඇදහිල්ලෙනි.</verse>
				<verse number="24">වැඩිවියට පත් පසු මෝසෙස්, පාරාවෝ රජුගේ දූ කුමරියගේ පුත්‍රයා යැයි හඳුන්වනු ලැබීම ඇදහිල්ලෙන් ප්‍රතික්ෂේප කළේ,</verse>
				<verse number="25">සුළු කලකට පාපයේ සැපත භුක්ති විඳිනවාට වඩා, දෙවියන්වහන්සේගේ ජනයා සමඟ කම්කටොලු විඳීම තෝරා ගැනීමෙනි.</verse>
				<verse number="26">ක්‍රිස්තුස්වහන්සේ උදෙසා අවමන් විඳීම, ඊජිප්තුවේ ධනයට වඩා වටිනා වස්තුවකැයි සැලකීමෙනි. මන්ද ඔහු ඉෂ්ට විපාකය දෙස බලා සිටියේ ය.</verse>
				<verse number="27">රාජ උදහසට බය නො වී, ඔහු ඊජිප්තුව හැර ගියේ ඇදහිල්ලෙනි. මන්ද අදෘශ්‍යමාන තැනැන්වහන්සේ දකින්නකු සේ ඔහු නො සැලී සිටියේ ය.</verse>
				<verse number="28">කුලුඳුලන් ඝාතකයා, ඔවුනට අත නො තබන පිණිස, පාස්කුව පවත්වා ඔහු ලේ ඉස්සේ ඇදහිල්ලෙනි.</verse>
				<verse number="29">වියළි ගොඩබිමේ ගමන් ගන්නා සේ ජනයා රතු මුහුද මැදින් ගියේ ඇදහිල්ලෙනි; එලෙස යෑමට තැත් කළ ඊජිප්තුවරු දියේ ගිලී මළහ.</verse>
				<verse number="30">ඔවුන් හත් දවසක් යෙරිකෝ පුරවරය වටලා ගමන් ගිය කල, පුර පවුරු බිඳ වැටුණේ ඇදහිල්ලෙනි.</verse>
				<verse number="31">අකීකරුවූවන් සමඟ රාහබ් පුරඟන විනාශ නො වූයේ ඇදහිල්ලෙනි. මන්ද ඈ ඔත්තුකරුවන් පිළිගත්තේ මිත්‍රත්වයෙනි.</verse>
				<verse number="32">මා තව මොනවා කියන්න ද? ගිඩියොන්, බාරක්, සම්සොන්, යෙප්තා හා දාවිත් ගැනත්, සාමුවෙල් හා දිවැසිවරුන් ගැනත් කියන්නට මට කාලය නැත.</verse>
				<verse number="33">ඔවුහු ඇදහිල්ලෙන් රාජ්‍යයන් යටත් කළහ. යුක්තිය පිහිටූහ, පොරොන්දු අත්කර ගත්හ; සිංහ මුඛ පියවූහ;</verse>
				<verse number="34">රුදුරු ගින්නේ බල, මැඩපැවැත් වූහ, කඩු මුවහතින් ගැලවී පලා ගියහ; දුබලකම්, ප්‍රබලකමට හරවා ගත්හ. යුද්ධයට බලවත් වූහ; සතුරු හමුදා පලවා යැවූහ.</verse>
				<verse number="35">ස්ත්‍රීහු මිය ගිය තම ප්‍රියයන්ගේ ජීවිත නැවත ලදහ. ඇතමෙක් වඩා හොඳ නැවත නැගිටීමක් අත්කර ගන්නා පිණිස, නිදහස් කරනු ලැබීම ප්‍රතික්ෂේප කොට, දරුණු වධ බන්ධන ලැබූහ.</verse>
				<verse number="36">අන්‍යයෝ පරිහාසයටත්, කස පහරටත්, විලංගු ලනු ලැබීමට හා සිර කරනු ලැබීමටත් මුහුණ පෑහ;</verse>
				<verse number="37">ඔවුහු මැරෙන තුරා ගල් ගසනු ලැබූහ; කියතින් දෙකට ඉරනු ලැබූහ; කඩුවෙන් මරා දමනු ලදහ. ඔවුහු අනාථ භාවයට, වධයට, අසාධාරණයට ගොදුරු වෙමින් එළු හම් හා බැටළු හම් පමණකින් විළි වසාගෙන, තැන් තැන්හි ගියහ.</verse>
				<verse number="38">ඔවුන් දරන්නට තරම් ලෝකය වටින්නේ නැත. ඔවුහු මරු කතරේ ද කඳු අතරේ ද ගුහා තුළ හා පොළෝ කුහර තුළ ද ඉබාගාතේ ඇවිද්දහ.</verse>
				<verse number="39">ඔවුන් සියල්ලෝ තමන්ගේ ඇදහිල්ල තුළින් අනුමැතිය දිනුවෝ වුව ද, පොරොන්දු වූ දෑ නො ලද්දෝ ය.</verse>
				<verse number="40">මන්ද අපගෙන් තොරව ඔවුන් පූර්ණත්වයට පත් නො වන ලෙසට දෙවියන්වහන්සේ අප උදෙසා වඩා හොඳ සැලැස්මක් සපයා තිබූ බැවිනි.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">එබැවින් මෙතරම් ඉමහත් සාක්ෂිකරුවන් සමූහයක් අප වට කොට සිටින බැවින්, හැම බරක් හා පහසුවෙන් අප පටලවා ගන්නා පාපය පසෙක ලා, අප ඉදිරියේ සලසා ඇති තරඟ දිවුම,</verse>
				<verse number="2">අපගේ ඇදහිල්ලේ ආරම්භකයාණන් හා පරිසමාප්තකයාණන් වන යේසුස්වහන්සේ වෙත ඇස ගසාගෙන, වීර්යයෙන්ම දුවමු. උන්වහන්සේ තමන් අබියස පිළියෙලව තිබූ ප්‍රීතිය නිසා, අවමානය අවඥාවෙන් සලකා, කුරුසිය ඉසිලූ සේක්, දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තේ හිඳවනු ලැබූ සේක.</verse>
				<verse number="3">ඔබ හෙම්බත් වී අධෛර්යයට පත් නො වන පිණිස, පාපී මිනිසුන්ගේ ඒ සා එදිරිවාදිකම් ඉවසූ තැනැන්වහන්සේ ගැන සිතා බලන්න.</verse>
				<verse number="4">පාපයට එරෙහිව ඔබ කරන පොරබැදීමේදී තවමත් ලේ හැලෙන විරෝධතාවකට පත්ව නැත.</verse>
				<verse number="5">පුත්‍රයින් යයි ඔබ අමතන ධෛර්යය ගැන්වීමේ මෙම වචන ඔබට අමතක වූවා ද? “මා පුත, ස්වාමින්වහන්සේගේ හික්මවීම සුළු කොට නො සලකන්න; උන්වහන්සේගෙන් තරවටු ලබන කල නො කලකිරෙන්න;</verse>
				<verse number="6">මන්ද ස්වාමින්වහන්සේ තමන් ප්‍රේම කරන්නවුන් හික්මවන සේක; පුත්‍රයකු වශයෙන් පිළිගන්නා සැමට තළන සේක.”</verse>
				<verse number="7">ඔබ ඉවසා දරාගත යුත්තේ හික්මීම පිණිස ය. දෙවියන්වහන්සේ ඔබ සලකන්නේ පුත්‍රයින් වශයෙනි. තම පියාණන් විසින් හික්මවනු නො ලබන පුත්‍රයා කවුරු ද?</verse>
				<verse number="8">හැම කෙනකුම හික්මවන පරිදි ඔබ හික්මවනු නො ලබනවා නම්, ඔබ අවජාතකයකු මිස, පුත්‍රයකු නො වේ;</verse>
				<verse number="9">ඒ හැර, අප හික්මවූ භූමික පියවරු අපට සිටියහ; අපි ඔවුනට ගරු කළෙමු. එසේ නම්, අප ආත්මවල පියාණන්ට ඊට කොපමණ වැඩියෙන් අප යටත්ව, ජීවත් විය යුතු ද?</verse>
				<verse number="10">මන්ද ඔවුන් අප හික්මවූයේ ඔවුන්ට වඩා හොඳයයි පෙනුණු පරිදි ටික කලකට ය. එහෙත් මුන්වහන්සේ අප හික්මවන්නේ අපේ යහපත සඳහා, අප උන්වහන්සේගේ ශුද්ධත්වයට පංගුකාර වන පිණිස ය.</verse>
				<verse number="11">හැම හික්මවීමක්ම විඳින කල, එය ප්‍රියදායිව නො ව, පීඩාදායිව පෙනේ; එහෙත් පසුව, එයින් අත්දැකීම් ලද්දවුනට, ධර්මිෂ්ඨකමේ සාමකාමී පල හට ගැනේ.</verse>
				<verse number="12">එබැවින් එල්ලා වැටෙන ඔබගේ අත් ඔසවා, පණ නැති දණිස් ශක්තිමත් කරගන්න.</verse>
				<verse number="13">කොර වූ කකුල්-සන්ධි නො ගැලවී ඒවා සුව වන පිණිස, ඔබේ පාදවලට සමතල මාවත් තනා ගන්න.</verse>
				<verse number="14">සියලු දෙනා සමඟ සාමයෙන් විසීමටත්, ශුද්ධවත් ජීවිතයක් ගත කිරීමටත් පරිශ්‍රම දරන්න. ශුද්ධත්වයෙන් තොරව කිසිවකුත් ස්වාමින්වහන්සේ දකින්නේ නැත.</verse>
				<verse number="15">කිසිවකුට දෙවියන්වහන්සේගේ අනුග්‍රහය අහිමි නො වන ලෙසට හා ගැටළු මතු කොට බොහෝ දෙනකු අපවිත්‍ර වන තික්තකමේ මුලක් හටගන්නට ඉඩ නො දෙන ලෙසට වගබලා ගන්න.</verse>
				<verse number="16">කිසිවකුත් ලිංගික අනාචාරයේ නො ගැලෙන ලෙසට හා එක කෑම වේලකට තම කුලුඳුල්කම විකුණූ ඒසව් මෙන් නො වන ලෙසට වගබලා ගන්න.</verse>
				<verse number="17">ඔබ දන්නා පරිදි, පසුව ඔහුට ආශිර්වාදය අවශ්‍ය වූ නමුදු, ඔහු ප්‍රතික්ෂේප කරනු ලැබිණි. කඳුළින් යුතුව පවා කන්නලව් කළ නමුදු එය වෙනස් කිරීමට ඔහු ඉඩ ලද්දේ නැත.</verse>
				<verse number="18">මන්ද ඔබ පැමිණ ඇත්තේ, ස්පර්ශ කළ හැකි වූ, ගිනිගෙන දැවෙන, අන්ධකාරයෙන් හා කළුවරින් යුතු, සැඩ කුණාටුවක් වෙතවත්,</verse>
				<verse number="19">හොරණෑ හඬක්වත්, තමනට තවත් කතා නො කරන්නැයි ඇසූවන්ට කන්නලව් කරන්නට සැලසූ කටහඬක් වෙතවත් නො වේ;</verse>
				<verse number="20">මන්ද: “සතකු වුව කන්දේ ගෑවුණොත් ඌ ගල් ගසා මැරිය යුතු ය” යන නියෝගය ඔවුනට දැරිය නො හැකි වූ බැවිනි.</verse>
				<verse number="21">ඒ දර්ශනය කෙතරම් බියකරු වී ද යත්, “මම බයින් වෙවුලමි” යි මෝසෙස් කීවේ ය.</verse>
				<verse number="22">එහෙත් ඔබ පැමිණ ඇත්තේ සියොන් කන්ද වෙතට ය; ජීවමාන දෙවියන්වහන්සේගේ පුරවරය වූ ස්වර්ගීය යෙරුසලම වෙතට හා අසංඛ්‍ය වූ දේව දූතයින්ගේ ප්‍රීති ජනක රැස්වීම වෙතට ය;</verse>
				<verse number="23">ස්වර්ගයේ නම් ඇතුළත් කුලුඳුලන්ගේ සභාව වෙතට ය; සියල්ලන්ගේ විනිශ්චයකරුවාණන් වූ දෙවියන්වහන්සේ වෙතට ය; සම්පූර්ණත්වයට පත් කරනු ලැබූ ධර්මිෂ්ඨයින්ගේ ආත්ම වෙතට ය.</verse>
				<verse number="24">අලුත් ගිවිසුමක මැදහත්කරුවාණන් වූ යේසුස්වහන්සේ වෙතට ය; ආබෙල්ගේ ලෙයට වඩා උතුම් ලෙස කතා කරන ඉසීමේ ලේ වෙතට ය.</verse>
				<verse number="25">කතා කරන්නා වූ තැනැන්වහන්සේ ප්‍රතික්ෂේප නො කරන්නට බලා ගන්න. පොළොවේදී තමන්ට අවවාද කළ තැනැන්වහන්සේ ප්‍රතික්ෂේප කළ විට, ඔවුන් ගැලවුණේ නැතිනම්, ස්වර්ගයේ සිට අවවාද කරන තැනැන්වහන්සේ වෙතින් ඉවත හැරුනහොත්, අපි කෙලෙස ගැලවෙන්නෙමු ද?</verse>
				<verse number="26">එකල උන්වහන්සේගේ කටහඬට පොළොව සලිත විය. එහෙත් දැන්, “යළිත් වරක් මම පොළොව පමණක් නො ව ස්වර්ග ද සොලවන්නෙමි” යි උන්වහන්සේ පොරොන්දු වී ඇත.</verse>
				<verse number="27">“යළිත් වරක්” යන්නෙන් අදහස් වන්නේ, සොලවන්නට නො හැකි දෑ ඉතිරි වන පිණිස, සොලවනු ලබන දෑ වන මවන ලද දෑ බැහැර කරන බවයි.</verse>
				<verse number="28">එබැවින් සොලවන්නට බැරි රාජ්‍යයක් අපට ලැබෙන බැවින්, ස්තූතිවන්ත වෙමු. තවද ගෞරවනීයව හා භයින් යුතුව දෙවියන්වහන්සේට පිළිගත මනා නමස්කාරයක් ඔප්පු කරමු.</verse>
				<verse number="29">මන්ද අපේ දෙවියන්වහන්සේ දවා අළු කරන ගින්නකි.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">සහෝදර ප්‍රේමයේ පැවත සිටින්න.</verse>
				<verse number="2">ආගන්තුක සත්කාරය අතපසු නො කරන්න. එසේ කිරීමෙන් ඇතමුන් නො දැනම දේව දූතයින්ට සංග්‍රහ කර ඇත.</verse>
				<verse number="3">ඔබත් ඔවුන් අතර සිටිතැයි සලකා, සිරගතව සිටින්නන් ද ඔබත් සිටින්නේ ශරීරයක බැවින් වධ වේදනා විදින්නන් ද සිහිපත් කරන්න.</verse>
				<verse number="4">විවාහය, සියලු දෙනා අතරේ ගෞරවයෙන් සලකනු ලබත්වා. විවාහ යහන දූෂ්‍ය නො වෙත්වා; මන්ද ලිංගික අනාචාරීන් හා පරදාරිකයින් දෙවියන්වහන්සේ විනිශ්චය කරනු ඇත.</verse>
				<verse number="5">මුදලට ආලය වීමෙන් මිදී, දිවි ගෙවන්න. තමනට ඇති දෙයින් සෑහී සිටින්න. මන්ද, “කොහෙත්ම මම ඔබ හැර නො යමි; කිසි කල ඔබ අත්හැර නො දමමි” යි උන්වහන්සේ පවසා තිබේ.</verse>
				<verse number="6">එබැවින්, නිසැක විශ්වාසයෙන් අපට මෙසේ කිව හැකි ය, “ස්වාමින්වහන්සේ මාගේ උපකාරකරුවාණෝ ය; මම බය නො වන්නෙමි. මිනිසා මට කුමක් කරන්න ද?”</verse>
				<verse number="7">ඔබට දෙවියන්වහන්සේගේ වචනය කතා කළ නායකයින් සිහි කරන්න. ඔවුන්ගේ ජීවිත පැවැත්මෙහි ප්‍රතිඵලය සැලකිල්ලට ගෙන, ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණ කරන්න.</verse>
				<verse number="8">යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඊයෙත්, අදත්, සදහටත් එකාකාර ය.</verse>
				<verse number="9">සියලු ආකාර අමුතු ඉගැන්වීම් මඟින් මුළාව නො යන්න. මන්ද වඩා හොඳ, අප හදවත් අනුග්‍රහයෙන් ශක්තිමත් කර ගැනීම ය. ආහාරවලින් නො වේ; මන්ද ඒවා වැළදූ අයට වූ සෙතක් නැත.</verse>
				<verse number="10">කූඩාරමේ මෙහෙ කරන්නවුන්ට කන්නට අවසර නැති, පූජාසනයක් අපට තිබේ.</verse>
				<verse number="11">උත්තම පූජකයා, පාප පූජාවක් ලෙස ශුද්ධස්ථානවලට සත්ව ලේ ගෙන ගිය ද, උන්ගේ සිරුරු දවා දමනු ලබන්නේ කඳවුරෙන් පිටතදී ය.</verse>
				<verse number="12">මෙසේ යේසුස්වහන්සේ ද ස්වකීය ලෙයින් ජනයා පවිත්‍ර කරනු පිණිස, නගර දොරටුවෙන් පිටතදී වධ වින්ද සේක.</verse>
				<verse number="13">එබැවින් අපත්, කඳවුරෙන් පිටතට ගොස්, උන්වහන්සේ විඳි අවමානය දරාගනිමු.</verse>
				<verse number="14">මන්ද පවතින පුරවරයක් අපට මෙහි නැත. එහෙත් මතු පැමිණෙන පුරවරය ගැන අපි බලා සිටින්නෙමු.</verse>
				<verse number="15">එබැවින් නිරතුරුව, උන්වහන්සේ මඟින් දෙවියන්වහන්සේ වෙත උන්වහන්සේගේ නාමය පිළිගන්නා අපේ තොල්වල පලය වන ප්‍රශංසා පූජා ඔප්පු කරමු.</verse>
				<verse number="16">යහපත කිරීම ද ඔබට ඇති දෑ අන් අය සමඟ බෙදා හදා ගැනීම ද අතපසු නො කරන්න. එම පූජා දෙවියන්වහන්සේට ප්‍රසන්න ය.</verse>
				<verse number="17">ඔබේ නායකයින්ට අවනතව, ඔවුනට යටත් වන්න. මන්ද ඔවුන් ඔබ ගැන ගණන් දිය යුතු වූවන් මෙන් ඔබගේ ආත්ම ගැන විමසිල්ලෙන් සිටින බැවිනි. එසේ කිරීම බරක් නො ව, ප්‍රීතියක් වන පිණිස ඔවුන්ට අවනත වන්න; නැතහොත් එයින් ඔබට වන සෙතක් නැත.</verse>
				<verse number="18">අප උදෙසා යාච්ඤා කරන්න. මන්ද හැම දේකදී ගෞරවනීයව ක්‍රියා කිරීමේ ආශාවෙන් යුතු පැහැදිලි හෘදය සාක්ෂියක් අපට ඇති බැව් අපට සහතික ය.</verse>
				<verse number="19">ඉක්මනින් යළිත් ඔබ අතරට මා එවනු ලබන පිණිස එසේ කරන මෙන් විශේෂයෙන් ඉතා ඕනෑකමින් ඔබෙන් ඉල්ලමි.</verse>
				<verse number="20">සදාතන ගිවිසුමේ ලේ මඟින්, බැටළුවන්ගේ ශ්‍රේෂ්ඨ එඬේරාණන් වූ යේසුස් අප ස්වාමියාණන් මළවුන් වෙතින් යළි ජීවනයට ගෙන ආ සාමයේ දෙවියන්වහන්සේ,</verse>
				<verse number="21">ස්වකීය කැමැත්ත කිරීමේ හැම හොඳ අංගයකින්ම ඔබ සන්නද්ධ කරන සේක්වා! ස්වකීය මනාපය පරිද්දෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් අප ජීවිත තුළ උන්වහන්සේ ක්‍රියා කරන සේක්වා! උන්වහන්සේට සදහට ම, සදාතනිකව ම තේජෝ මහිම වේවා! ආමෙන්.</verse>
				<verse number="22">සහෝදරයිනි, මාගේ මෙම අවවාදාත්මක වචන ඉවසීමෙන් පිළිගන්න මෙන් උදක්ම ඔබෙන් ඉල්ලමි. මා ඔබට ලීවේ කෙටියෙනි.</verse>
				<verse number="23">අප සහෝදර තිමෝතියස් නිදහස් වී ඇති බැව් ඔබට දන්වනු කැමැත්තෙමි. ඔහු ඉක්මනින් පැමිණියහොත් ඔහු සමඟ ඔබ හමුවට එන්නෙමි.</verse>
				<verse number="24">ඔබගේ නායකයින්ටත්, සියලු ශුද්ධවතුන්ටත් ආචාර කරන්න; ඉතාලියේ අය ඔබට ආචාර කරති.</verse>
				<verse number="25">අනුග්‍රහය ඔබ හැම සමඟ පවතීවා!</verse>
			</chapter>
		</book>
		<book number="59">
			<chapter number="1">
				<verse number="1">විසිර ගොස් සිටින ගෝත්‍ර වංශ දොළහ වෙත, දෙවියන්වහන්සේගේ ද යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගේ ද සේවකයකු වන යාකොබ් වෙතිනි. සෙත් වේවා!</verse>
				<verse number="2">මා සහෝදරයිනි, නොයෙක් විදියේ පරීක්ෂාවනට ඔබ මුහුණ පාන කල, ඒවා මහා ප්‍රීතියකැයි සලකන්න.</verse>
				<verse number="3">මන්ද පරීක්ෂාවනට මැදිවීමෙන් ඔබේ ඇදහිල්ල, ස්ථිරත්වය උපද්ද වන වග ඔබ දන්නා බැවිනි.</verse>
				<verse number="4">ඔබ කිසි අඩුවක් නැතිව, සම්පූර්ණව හා පරිපූර්ණව සිටින පිණිස, ස්ථිරත්වය සම්පූර්ණයෙන්ම ක්‍රියාකාරී වෙත්වා.</verse>
				<verse number="5">ඔබගෙන් යමකු ප්‍රඥාවෙන් හීන නම්, ඔහු ඉල්ලා සිටිය යුත්තේ, වැරදි නො සොයා සියල්ලන්ට නො මසුරුව දෙන දෙවියන්වහන්සේගෙනි; ඔහුට එය ලැබෙනු ඇත.</verse>
				<verse number="6">එහෙත් ඔහු ඉල්ලිය යුත්තේ ඇදහිල්ලෙනි; සැකයෙන් තොරව ය. මන්ද සැක සිතැත්තා සුළඟට ගසන, ඒ මේ අත පෙරළෙන මුහුදු රැල්ලක් වැනි ය.</verse>
				<verse number="7">එබඳු මිනිසා ස්වාමින්වහන්සේගෙන් තමාට කිසිවක් ලැබෙතැයි නො සිතිය යුතු ය.</verse>
				<verse number="8">ඔහු දෙබිඩි සිතැත්තෙක්ව, තමාගේ හැම මාර්ගයකම අස්ථිරව සිටී.</verse>
				<verse number="9">පහත්ව සිටින සහෝදරයා, පාරට්ටු කර ගත යුත්තේ තම උසස්වීම ගැන ය;</verse>
				<verse number="10">ධනවත්ව සිටින සහෝදරයා තම පහත් වීම ගැන ය. මන්ද කැලෑ මලක් සේ ඔහු පහව යයි.</verse>
				<verse number="11">දැඩි උෂ්ණත්වයෙන් යුතුව හිරු උදා වූ කල, පැළෑටි වියළෙයි. එවිට මල් හැලී එහි ලස්සන පෙනුම නැති වී යයි. ධනවතා ද තම ක්‍රියා මාර්ග අතරේම එලෙසින්ම මැලවී යයි.</verse>
				<verse number="12">පරීක්ෂා මැද නො සැලී ස්ථිරව සිටින මිනිසා භාග්‍යවත් ය. මන්ද ඔහු ඒ පරීක්ෂා ඉසිලූ පසු, තමන්වහන්සේට ප්‍රේම කරන්නවුන්ට දෙවියන්වහන්සේ පොරොන්දු වූ ජීවනයේ ඔටුන්න ලබන්නේ ය.</verse>
				<verse number="13">පරීක්ෂා කරනු ලබන කල, කිසිවෙක් “දෙවියන්වහන්සේ මා පොලඹවන සේකැ” යි නො කියත්වා. මන්ද නපුර විසින් දෙවියන්වහන්සේ පරීක්ෂා කළ නො හැක; උන්වහන්සේ කිසිවකු පරීක්ෂා කරන්නේ ද නැත.</verse>
				<verse number="14">එහෙත් එක් එක් මනුෂ්‍යයා පොලඹවනු ලබන්නේ, තමාගේම තෘෂ්ණාවනට වසඟ වී ඉන් ඇවිස්සුණු කල්හි ය.</verse>
				<verse number="15">ඉන්පසු තෘෂ්ණාව පිළිසිඳ පාපය බිහිකරයි; පාපය මෝරා වැඩී මරණය උපද්දයි.</verse>
				<verse number="16">නො රැවටෙන්න මා ප්‍රේමණීය සහෝදරයිනි.</verse>
				<verse number="17">හැම හොඳ ත්‍යාගයක්ම, හැම සම්පූර්ණ ත්‍යාගයක්ම වෙනස් වීමක් හෝ වෙනස් වීමේ සේයාවක් හෝ නැති ආලෝකයේ පියාණන්වහන්සේ වෙතින් ඉහළ සිට බැස එයි.</verse>
				<verse number="18">උන්වහන්සේගේ මැවිලි අතර, අප නාඹුල් පල විශේෂයක් වන පිණිස, උන්වහන්සේ තමන්ගේම අභිමතය පරිදි සත්‍යතාවේ වචනයෙන් අප උත්පාද කළ සේක.</verse>
				<verse number="19">මෙය සිහි තබාගන්න, මා ප්‍රේමණීය සහෝදරයිනි, හැම කෙනෙක්ම ඇසීමට ඉක්මන් වන්න. කතා කිරීමට පමා වන්න. කෝපවීමටත් පමා වන්න.</verse>
				<verse number="20">මන්ද දෙවියන්වහන්සේට ඕනෑ කරන ධර්මිෂ්ඨකම මිනිස් කෝපයෙන් ඉටු වන්නේ නැත.</verse>
				<verse number="21">එබැවින් සියලු අපවිත්‍රතා හා ගහණව ඇති දුෂ්ටකම ඉවත ලා, ඔබගේ ආත්මය ගලවන්නට සමත්, ඔබ තුළ පැළ කරන ලද වචනය මෘදු ලෙස පිළිගන්න.</verse>
				<verse number="22">එහෙත් එය අසන්නන් පමණක් නො වී, තමන් නො රවටාගෙන, වචනය පිළිපදින්නන් වන්න.</verse>
				<verse number="23">වචනය අසන්නකු වන නමුත්, එය නො පිළිපදින්නකු වන කවරකු වුව, ඕනෑකමින් කැඩපතකින් තම ස්වාභාවික මුහුණ බලන මිනිසකුට සමාන ය.</verse>
				<verse number="24">මන්ද ඔහු තමා දිහා බලා, පිටත්ව ගොස්, තමා කෙබඳුදැයි විගස අමතක කරයි.</verse>
				<verse number="25">එහෙත්, සම්පූර්ණ නීතිය වන නිදහසේ නීතිය නිරීක්ෂණ කරමින්, අමතක කරන අසන්නකු නො වී, ඒවා දිගටම අභ්‍යාස කරන්නා, තමන් කරන දෙයින්ම ආශිර්වාද ලබයි.</verse>
				<verse number="26">යමෙක් තම දිව පාලනය නො කර, තමා භක්තිවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහු තමාම රවටා ගනී. ඔහුගේ භක්තිවන්තකම ද හිස් එකකි.</verse>
				<verse number="27">පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ඉදිරියේ පවිත්‍ර, නිර්දෝෂ භක්තිවන්තකම වන්නේ, අනාථ දරුවනට හා වැන්දඹුවනට ඔවුන්ගේ විපතේදී පිහිට වීමත්, තමා ලෝකයෙන් දූෂ්‍ය නො වී පැවත සිටීමත් ය.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">මා සහෝදරයිනි, තේජසේ ස්වාමින්වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ තුළ අදහන්නන් වශයෙන් උස් පහත්කම් නො සලකන්න.</verse>
				<verse number="2">රන් මුදු පැලඳි, වටිනා ඇඳුම් හැඳි ධනවතෙක් ද වැරහැලි හැඳි දුගියෙක් ද ඔබේ එක්රැස්වීමකට පැමිණි විටෙක,</verse>
				<verse number="3">ඔබ අර වටිනා ඇඳුම් හැඳි කෙනා අමතමින්, “එන්න, මේ හොඳ පහසු තැනකින් වාඩි වන්නැ” යි කියා, දුගී මිනිසා වෙත හැරී, “ඔන්න ඔහෙන් ඉන්නවා” ය කියා හෝ, “මේ මගේ පා අසලින් ඉඳගන්නවා” කියා කියන්නේ නම්,</verse>
				<verse number="4">ඔබ, ඔබ අතරේම වෙනස්කම් සලසන, දුෂ්ට සිතිවිලි ඇති විනිශ්චයකරුවන් නො වන්නේ ද?</verse>
				<verse number="5">මේ අහන්න, මා ප්‍රේමණීය සහෝදරයිනි, ඇදහිල්ලේ ධනවත් වන පිණිසත්, තමන්වහන්සේට ප්‍රේම කරන්නවුන්ට දෙවියන්වහන්සේ පොරොන්දු වූ රාජ්‍යයේ උරුමකරුවන් වන පිණිසත්, මේ ලෝකයේ දුගීන් උන්වහන්සේ තෝරා නො ගත් සේක් ද?</verse>
				<verse number="6">එහෙත් ඔබ, දිළිඳාට අවමන් කර ඇත. ඔබට පීඩා පමුණුවන්නේත්, උසාවි කරා ඔබ ඇදගෙන යන්නෙත් ධනවතුන්ම නො වේ ද?</verse>
				<verse number="7">ඔබ දරන ගෞරවණීය නාමයට අපහාස කරන්නේත් ඔවුන්ම නො වේ ද?</verse>
				<verse number="8">ශුද්ධ ලියවිල්ලට අනුව, “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” යන රාජකීය නීතිය පිළිපදින්නේ නම්, ඔබ කරන්නේ හරි දෙයයි.</verse>
				<verse number="9">එහෙත් ඔබ තරාතිරම් බලන්නේ නම්, ඔබ පව් කරයි. නොපනත්කමේ වරදට, දහම් නීතියෙන් වරදකරුවන් කරනු ලබයි.</verse>
				<verse number="10">මන්ද මුළු දහම් නීතියම පිළිපැද, ඉන් එක් කොටසක් කඩ වුවහොත් මුළු නීති සංග්‍රහය ගැනම වරදකරුවකු වෙයි.</verse>
				<verse number="11">“පරදාර සේවනය නො කරනු” යි කී තැනැන්වහන්සේ, “මිනී නො මරනු” කියා ද කී සේක. එබැවින් ඔබ පරදාර සේවනයේ යෙදුණේ නැති වුව ද, මිනී මරන්නේ නම්, නීතිය පිළිබඳ වරදකරුවකු වෙයි.</verse>
				<verse number="12">එබැවින් නිදහස් නීතියකින් විනිශ්චයට නියම වූවන් සේ කතා කරන්න; ක්‍රියා කරන්න.</verse>
				<verse number="13">මන්ද දයාව නො පෑ තැනැත්තාට විනිශ්චය පැමිණෙන්නේ ද දයා විරහිතව ය. දයාව විනිශ්චය අභිබවා ජය ගනී.</verse>
				<verse number="14">මා සහෝදරයිනි, කෙනෙක් තමන්ට ඇදහිල්ල ඇතැයි කියන නමුත් ක්‍රියා නැතිනම්, එවැනි ඇදහිල්ලකට ඔහු ගැලවිය හැකි ද?</verse>
				<verse number="15">හරි හැටි ඇඳුමක් නැති, එදිනෙදා කුසට අහර නැති සහෝදරයකුට හෝ සහෝදරියකට</verse>
				<verse number="16">ඔවුන්ගේ එම ශාරීරික අවශ්‍යතා සපුරන්නේ නැතිව, ඔබගෙන් කෙනකු කතා කොට, “සාමයෙන් යන්න; ගොස් උණුසුම් වී, බඩ පුරා කන්නැ” යි කියයි නම්, ඉන් වන සෙත කුමක් ද?</verse>
				<verse number="17">ඒ අයුරින් ක්‍රියාවලින් තොර, තනි වූ ඇදහිල්ල මළ එකකි.</verse>
				<verse number="18">එහෙත් කෙනෙක් කතා කොට, “ඔබට ඇදහිල්ල තිබේ; මට ක්‍රියා තිබේ” යි කියයි. ඔබේ ක්‍රියාවලින් තොරව ඔබේ ඇදහිල්ල මට පෙන්වන්න. මම මගේ ක්‍රියාවලින් මගේ ඇදහිල්ල පෙන්වන්නම්.</verse>
				<verse number="19">දෙවියන්වහන්සේ එක් කෙනකු පමණක් බව ඔබ විශ්වාස කරයි. අගෙයි! යක්ෂාත්මයෝ පවා විශ්වාස කර වෙවුලති.</verse>
				<verse number="20">අඥානය, ක්‍රියාවලින් තොර ඇදහිල්ල වැඩකට නැති වගට සාධක වුවමනා ද?</verse>
				<verse number="21">අපගේ පිය වූ ආබ්‍රහම් ක්‍රියා තුළින් ධර්මිෂ්ඨ බවට පිළිගැනුනේ, ඔහු තම පුත් ඊසාක් පූජාසනය මත පූජා කළ කල්හි නො වේ ද?</verse>
				<verse number="22">ඔහුගේ ක්‍රියා සමඟ ඇදහිල්ල ක්‍රියාත්මක වූ වග හා ඔහුගේ ක්‍රියා තුළින් ඇදහිල්ල සම්පූර්ණ වූ වග ඔබට පෙනේ.</verse>
				<verse number="23">“ආබ්‍රහම් දෙවියන්වහන්සේ ඇදහී ය; ඒ ඇදහිල්ල ඔහුගේ ධර්මිෂ්ඨකම ලෙස ගණන් ගනු ලැබිණැ” යි පැවසෙන ශුද්ධ ලියවිල්ල එමඟින් සම්පූර්ණ වෙයි. තවද ඔහු දෙවියන්වහන්සේගේ මිත්‍රයා ලෙසින් හඳුන්වනු ලැබී ය.</verse>
				<verse number="24">යමකු දෙවියන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ කරන්නේ ක්‍රියා මඟින් වගත්, ඇදහිල්ලෙන් පමණක් නො වන වගත් ඔබට පෙනේ.</verse>
				<verse number="25">එලෙසම රාහබ් වෙසඟන ඔත්තුකරුවන් පිළිගෙන, වෙනත් මඟකින් ඔවුන් පිටත් කර යැවූ කල, ඇය ද ධර්මිෂ්ඨ කරනු ලැබුවේ, ක්‍රියා මඟින් නො වේ ද?</verse>
				<verse number="26">ආත්මයෙන් තොර සිරුර මළ එකක් සේ ම, ක්‍රියා නැති ඇදහිල්ල ද මළ එකකි.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">මා සහෝදරයිනි, ඔබගෙන් බොහෝ දෙනෙක් ගුරුවරුන් නො විය යුතු ය. මන්ද ඔබ දන්නා පරිදි ගුරුවරුන් වන අප වඩා දැඩි ලෙස විනිශ්චය කරනු ලබනු ඇත.</verse>
				<verse number="2">මන්ද අප සැවොම නොයෙක් අයුරින් පැකිළෙන්නෙමු. යමෙක් තමා කතා කරන වචනයෙන් නො පැකිළේ නම්, ඔහු තමන්ගේ මුළු සිරුරම මැඩපවත්වා ගැනීමට සමත් පිරිපුන් මිනිසෙකි.</verse>
				<verse number="3">අශ්වයින් අපට අවනත කර ගැනීමට උන්ට කට කලියා දැමූ කල, මුළුමනින් උන් පාලනය කිරීමට අපට හැකි වෙයි.</verse>
				<verse number="4">නැව් දිහා බලන්න; ඒවා කෙතරම් විශාල වුවත්, සැඩ සුළඟකින් ගසාගෙන යතත්, කුඩා සුක්කානමක් මඟින් නැව්පතියා රිසි ඕනෑම දිසාවකට හරවා පැදවිය හැකි ය.</verse>
				<verse number="5">එසේම දිව කුඩා අවයවයකි. එහෙත් එය මහා පුරසාරම් දොඩයි. කුඩා ගිනි පුපුරකින් කොතරම් මහා වනයක් ගිනි අවුළා ද?</verse>
				<verse number="6">දිව ගින්නකි. අධර්මිෂ්ඨකමේ ලෝකයකි. දිව අපේ අවයව අතර පිහිටා සිටිමින්, මුළු සිරුරේම ලප-පැල්ලම් ඇති කොට, මුළු මහත් ජීවිතයටම ගිනි තබයි; එය ගිනි අවුළුවා ගන්නේ නිරයෙන්ම ය.</verse>
				<verse number="7">සෑම වර්ගයක මෘගයකු, පක්ෂියකු, උරගයකු හා මුහුදු සත්වයකු දමනය කරන්ට මිනිසාට පුළුවන; දමනය කරනු ලැබ ඇත.</verse>
				<verse number="8">එහෙත් දිව දමනය කරන්නට හැකි මිනිසකු නැත. එය මරණීය විසෙන් පිරුණු කලබලකාරී නපුරකි.</verse>
				<verse number="9">එයින් අපේ ස්වාමින්වහන්සේ හා පියාණන්වහන්සේට ප්‍රශංසා කරන අපි, එයින්ම දෙවියන්වහන්සේගේ සමානත්වයෙන් මවනු ලැබූ මිනිසාට ශාප කරන්නෙමු.</verse>
				<verse number="10">එකම මුවින් ප්‍රශංසාවත්, ශාපයත් නික්මෙයි. මා සහෝදරයිනි, මේ නම් නො විය යුත්තකි.</verse>
				<verse number="11">එකම උල්පතකින් කරදියත්, මිරිදියත් නික්මේ ද?</verse>
				<verse number="12">මා සහෝදරයිනි, අත්තික්කා ගසට ඔලීව ගෙඩිවත්, මිදි වැලකට අත්තික්කාවත් හට ගැන්විය හැකි ද? එසේම කරදිය උල්පතකින් මිරිදිය නික්මවිය නො හැක.</verse>
				<verse number="13">ඔබ අතරේ නැණවතා හා බුද්ධිමතා කවුරු ද? ඔහු ඒ වග ප්‍රඥාවේ මෘදුකමින් තම ක්‍රියා, තම යහපත් පැවැත්මෙන් පෙන්නුම් කරත්වා.</verse>
				<verse number="14">එහෙත් උග්‍ර ඊර්ෂ්‍යාව ද ආත්මාර්ථ අභිලාශ ද ඔබේ හදවත්හි ඇත්නම්, පාරට්ටු කර ගැනීමෙන් හා සත්‍යයට පිටුපෑමෙන් වළකින්න.</verse>
				<verse number="15">එවැනි ප්‍රඥාව ඉහළින් පැමිණි එකක් නො වේ. එය භූමික ය; ලෞකික ය; යක්ෂයාගෙන් ය.</verse>
				<verse number="16">ඊර්ෂ්‍යාවත්, ආත්මාර්ථ අභිලාශයත් කොතැන ද අපිළිවෙලත්, සියලු ආකාර අධම ක්‍රියාත් එතැනම ය.</verse>
				<verse number="17">එහෙත් ඉහළින් එන ප්‍රඥාව පළමු කොට පවිත්‍ර ය; ඊ ළඟට සාමකාමී ය; මෘදු ය; විවෘත ය; දයාවෙන් හා යහපත් පලයෙන් පූර්ණ ය; අපක්ෂවාදී ය; අවංක ය.</verse>
				<verse number="18">ධර්මිෂ්ඨකමේ අස්වැන්න සාමය සලසන්නන් විසින් සාමයෙන් වපුරන ලද්දේ ය.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">ඔබ අතරේ දබර හා සටන් කොයින් ද? ඒවා පැමිණෙන්නේ ඔබේම ඉඳුරන් තුළ සටන් වදින තෘෂ්ණා නිසා නො වේ ද?</verse>
				<verse number="2">ඔබට ආශා ඇති වෙයි. එහෙත් ඒවා ඉටු නො වෙයි. එබැවින් ඔබ මිනී මරයි; ඔබ ඊර්ෂ්‍යා වෙයි. එහෙත් වුවමනා දෑ නො ලැබෙයි. එවිට ඔබ දබර කරයි; සටන් කරයි. ඔබට නැත්තේ ඔබ ඉල්ලන්නේ නැති බැවිනි.</verse>
				<verse number="3">ඉල්ලුවත් ඒවා ඔබට නො ලැබෙන්නේ, ඔබේ තෘෂ්ණාවලට වැය කිරීමට ඔබ වැරදියට ඉල්ලන බැවිනි.</verse>
				<verse number="4">පරදාරික ජනයිනි, ලෝකය සමඟ මිත්‍රත්වය දෙවියන්වහන්සේ සමඟ සතුරු වීම වග ඔබ දන්නේ නැති ද? එබැවින්, ලෝකය හා මිතුරු වීමට කැමති කවරකු වුව, දෙවියන්වහන්සේ සමඟ සතුරු වෙයි.</verse>
				<verse number="5">අප තුළ වාසයට දෙවියන්වහන්සේ අපට දුන් ආත්මය ඊර්ෂ්‍යාවෙන් පෙළෙතැයි ශුද්ධ ලියවිල්ල පවසන්නේ නිකමට යැයි ඔබ සිතනවා ද?</verse>
				<verse number="6">එහෙත්, දෙවියන්වහන්සේ අපට වඩ වඩා අනුග්‍රහය දක්වන සේක. ශුද්ධ ලියවිල්ල මෙසේ පවසයි: “දෙවියන්වහන්සේ උඩඟු වූවනට එරෙහි වන සේක. එහෙත් යටහතුනට අනුග්‍රහය දෙන සේක.”</verse>
				<verse number="7">එබැවින් දෙවියන්වහන්සේට යටත් වන්න; යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යනු ඇත.</verse>
				<verse number="8">දෙවියන්වහන්සේට සමීප වන්න; එවිට උන්වහන්සේ ඔබට සමීප වනු ඇත. පව්කාරයිනි, නුඹලාගේ අත් සෝදා ගනිල්ලා. දෙසිත් ඇත්තනි, නුඹලාගේ හදවත් පවිත්‍ර කර ගනිල්ලා.</verse>
				<verse number="9">තැවෙන්න; හඬන්න; වැලපෙන්න. ඔබගේ සිනහව හැඬීමටත්, ඔබගේ සොම්නස දොම්නසටත් හරවා ගන්න.</verse>
				<verse number="10">ස්වාමින්වහන්සේ ඉදිරියේ ඔබම යටහත් වන්න. එවිට උන්වහන්සේ ඔබ උසස් කරනු ඇත.</verse>
				<verse number="11">සහෝදරයිනි, එකිනෙකාට එරෙහිව නපුර නො පවසන්න. තම සහෝදරයාට එරෙහිව කතා කරන්නා, තම සහෝදරයා විනිශ්චය කරන්නා, දහම් නීතියට එරෙහිව කතා කරයි; නීතිය විනිශ්චය කරයි. ඔබ නීතිය විනිශ්චය කරන්නේ නම්, තවදුරටත් ඔබ නීති පිළිපදින්නෙක් නො ව විනිශ්චයකරුවෙක් ය.</verse>
				<verse number="12">ඇත්තේ ගලවන්නටත්, විනාශ කරන්නටත් සමත් එකම නීතිදායකයාණන් හා එකම විනිශ්චයකරුවාණන් කෙනකු පමණි. එහෙත් ඔබේ අසල්වැසියා විනිශ්චය කරන්නට ඔබ කවුරු ද?</verse>
				<verse number="13">“අද හෝ හෙට හෝ අප මේ මේ නගරයට ගොස්, වසරක් ගත කොට, වෙළඳාම් කරමින්, මුදල් උපයන්නෙමු” යි කියන්නෙනි, මට සවන් දෙන්න.</verse>
				<verse number="14">හෙට දවසේ කුමක් වේදැයි ඔබ දන්නේ නැත. ඔබේ ජීවිතය කුමක් ද? ඔබ, සුළු මොහොතකට ඇති වී, නැති වී යන මීදුමකි.</verse>
				<verse number="15">එබැවින් ඔබ කිව යුත්තේ, “ස්වාමින්වහන්සේ කැමති සේක් නම්, අපි ජීවත් වී, එලෙස හෝ මෙලෙස හෝ කරන්නෙමු” යනුවෙනි.</verse>
				<verse number="16">එහෙත් ඔබ, දැන් අහංකාරයෙන් පාරට්ටු කරගනී. එවැනි සියලු පාරට්ටු දුෂ්ටකමකි.</verse>
				<verse number="17">එබැවින් යමෙක්, කළ යුතු හරි දේ දැන, ඒ දේ නො කරන්නේ නම් එයම ඔහුට පාපයකි.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">සවන් දෙනු ධනවතුනි, ඔබ පිට පැමිණෙන දුක්ඛිතභාවය ගැන හඬා වැටෙන්න; හඬ නගා වැලපෙන්න.</verse>
				<verse number="2">ඔබේ ධනය දිරා ගොස් ඇත. ඔබේ ඇඳුම් කාවුන් කා දමා ඇත.</verse>
				<verse number="3">ඔබේ රන් රිදී මලකඩ කා ඇත. ඒ මලකඩ ඔබට එරෙහිව සාක්ෂියක්ව, ගින්දර මෙන් ඔබේ මාංසය කා දමනු ඇත. අන්තිම දවස්වල ඔබ ධනය ගොඩගසා ගෙන ඇත.</verse>
				<verse number="4">මෙන්න! ඔබගේ කුඹුරුවල අස්වැන්න නෙළුෑ වැඩකරුවනට ගෙවිය යුතු, එහෙත් ඔබ විසින් වංචනිකව නො ගෙවූ ඔවුන්ගේ කුලිය ඔබට විරුද්ධව මොර ගසයි. ඔබගේ අස්වනු නෙළන්නවුන්ගේ අඳෝනාව ද සියලු බලැති ස්වාමින්වහන්සේගේ සවනට ළඟා වී ඇත.</verse>
				<verse number="5">මේ පොළොවේ ඔබ ජීවත් වූයේ සුඛ විහරණයෙනි, තමන්ම පිනවා ගැනීමෙනි. ඝාතන කරන දවසට ඔබ ඔබේ හදවත් තරකර ගෙන ඇත.</verse>
				<verse number="6">ඔබ, ඔබට විරෝධය නො දැක්වූ අහිංසක මිනිසුන් වරදකරුවන් කොට ඔවුන් මරා දැමී ය.</verse>
				<verse number="7">එබැවින් සහෝදරයිනි, ස්වාමින්වහන්සේ පැමිණෙන තෙක් ඉවසීමෙන් බලා සිටින්න. ගොවියකු පොළොවෙන් අනගි අස්වනු හට ගැන්වෙනු බලා, ඊට පළමු වැස්ස හා අවසන් වැස්ස ලැබෙන තුරු ඉවසීමෙන් සිටින හැටි බලන්න.</verse>
				<verse number="8">ඔබත් එසේ ඉවසීමෙන් සිටින්න. ඔබගේ සිත් ස්ථිර කරගන්න. මන්ද ස්වාමින්වහන්සේගේ පැමිණීම අත ළඟ ය.</verse>
				<verse number="9">සහෝදරයිනි ඔබ විනිශ්චය කරනු නො ලබන පිණිස, එකිනෙකාට එරෙහිව මැසිවිලි නො නගන්න. මෙන්න! විනිසුරුවාණෝ දොරකඩම සිටින සේක!</verse>
				<verse number="10">සහෝදරයිනි, දුක් පීඩා හමුවේ ඉවසීමේ ආදර්ශයක් ලෙස ස්වාමින්වහන්සේගේ නාමයෙන් කතා කළ දිවැසිවරුන් ගැන සිතා බලන්න.</verse>
				<verse number="11">මෙන්න! අප සිතන්නේ ස්ථිරව රැඳී සිටි අය භාග්‍යවත් ය කියායි. යෝබ්ගේ ස්ථිර භාවය ගැන ඔබ අසා ඇත. අවසානයේදී ස්වාමින්වහන්සේගේ තීරණය ද ඔබ දුටුවෙහි ය. ස්වාමින්වහන්සේ අනුකම්පාවෙන් සහ දයාබරකමින් පූර්ණ ය.</verse>
				<verse number="12">සියල්ලටම වඩා මා සහෝදරයිනි, ඔබ වරදට පත් කරනු නො ලබන පිණිස, අහස ගැන, පොළොව ගැන හෝ අන් කවර දෙයක් ගැන නො දිවුරන්න. “ඔව්” කිව යුතු තැන ඔව් කියා ද “නැත” කිව යුතු තැන නැත කියා ද පවසන්න.</verse>
				<verse number="13">ඔබගෙන් යමකු පීඩා විඳී ද? ඔහු යාච්ඤා කරත්වා. යමකු සොම්නස් වේ ද? ඔහු පැසසුම් ගී ගයත්වා.</verse>
				<verse number="14">ඔබගෙන් යමකු රෝගීව සිටී ද? ඔහු සභා-මූලිකයන් කැඳවා යැවූ කල, ඔවුහු ස්වාමින්වහන්සේගේ නාමයෙන් තෙලින් ඔහු ආලේප කර, ඔහු උදෙසා යාච්ඤා කරත්වා.</verse>
				<verse number="15">ඇදහිල්ලේ යාච්ඤාවෙන් රෝගී තැනැත්තා සුවය ලබයි; ස්වාමින්වහන්සේ ඔහු නැගිටුවන සේක. ඔහු පව් කර තිබුණේ නම් ඒවා කමා කෙරේ.</verse>
				<verse number="16">එබැවින් සුවය ලැබෙන පිණිස එකිනෙකාට තම පාප කියා දී එකිනෙකා උදෙසා යාච්ඤා කරන්න. ධර්මිෂ්ඨ මනුෂ්‍යයකුගේ යාච්‍ඤාව, මහත් බලයෙන් හා ක්‍රියාකාරිත්වයෙන් යුක්ත ය.</verse>
				<verse number="17">එලියා අප හා සමාන මිනිසෙකි. වැසි නො වසින ලෙස, ඔහු මහත් ඕනෑකමින් යාච්ඤා කළෙන්, තුන් අවුරුදු හය මසක් පොළොවට වැසි වැටුණේ නැත.</verse>
				<verse number="18">පසුව ඔහු නැවත යාච්ඤා කළේ ය. එවිට අහසින් වැසි වැස්සේ ය; පොළොවෙන් එහි පලදාව හට ගත්තේ ය.</verse>
				<verse number="19">මා සහෝදරයිනි, ඔබ අතරින් යමකු සත්‍යයෙන් බැහැරව මුළාව ගිය කල, අන් කෙනකු ඔහු ආපසු හරවා ගන්නේ නම්,</verse>
				<verse number="20">පව්කරුවකු ඔහුගේ මුළාව යෑමෙන් ආපසු හරවා ගන්නා තැනැත්තා, ජීවිතයක් මරණයෙන් ගලවා, පව් රාශියක් වසා දමන බව දැනගන්න.</verse>
			</chapter>
		</book>
		<book number="60">
			<chapter number="1">
				<verse number="1">යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වූ පේතෘස් වෙතින්, පොන්තස්, ගලාතිය, කප්පදෝකිය, ආසියා හා බිතිනියෙහි විසිර, විදේශීව වෙසෙන,</verse>
				<verse number="2">ආත්මයාණන්වහන්සේ විසින් පවිත්‍ර කරනු ලැබීමෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීම සඳහා ද උන්වහන්සේගේ ලේ ඉසිනු ලැබීම සඳහා ද පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේගේ පෙර දැනගැන්මට අනුව, තෝරාගනු ලැබූවන් වෙතයි: අනුග්‍රහයත්, සාමයත් ඔබට බෝ වේවා!</verse>
				<verse number="3">යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේ වූ තැනැන්වහන්සේට ප්‍රශංසා වේවා! ස්වකීය අති මහත් දයාවට අනුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටීම තුළින් අපට ජීවමාන බලාපොරොත්තුවකට නව උපතක් සලසා දී ඇත්තේ,</verse>
				<verse number="4">විනාශ නො වන, දූෂ්‍ය නො වන, මැලවී නො යන ඔබ උදෙසා ස්වර්ගයේ තබා තිබෙන උරුමයකට ය.</verse>
				<verse number="5">අවසන් කාලයේ එළිදරවු වීමට සූදානම් ගැලවීම පැමිණෙන තෙක්, ඇදහිල්ල තුළින් දෙවියන්වහන්සේගේ බලයෙන්, උන්වහන්සේ ඔබ ආරක්ෂා කරන සේක.</verse>
				<verse number="6">මේ කාරණයේදී ඔබ ප්‍රමෝදවත් වන්නේ, අවශ්‍ය වේ නම්, සුළු කලකට නොයෙකුත් පරීක්ෂාවලින් ඔබ ශෝකයට පත් වූවා වුව ද,</verse>
				<verse number="7">ගින්නේ ලා පරීක්ෂා කළත් දිරා යන සුළු රත්රන්වලට වඩා අනර්ඝ වූ පරීක්ෂා කරන ලද ඔබගේ ඇදහිල්ලේ අව්‍යාජත්වය ඔප්පු වී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රකාශ වීමේදී එය ප්‍රශංසාවකට ද තේජසකට ද ගෞරවයකට ද හේතු වන වග දැක්වෙන පිණිස ය.</verse>
				<verse number="8">ඔබ, උන්වහන්සේ දැක නැති නමුදු, උන්වහන්සේට ප්‍රේම කරති. දැන් ඔබ උන්වහන්සේ දකින්නේ නැති නමුදු, උන්වහන්සේ තුළ විශ්වාස කරමින්, කියා නිම කළ නො හැකි වූ ද තේජසින් පූර්ණ වූ ද ප්‍රීතියකින් ප්‍රමෝදවත් වෙමින්,</verse>
				<verse number="9">ඔබගේ ඇදහිල්ලේ ප්‍රතිඵලය වන ඔබගේ ආත්මයේ ගැලවීම ලබමින් සිටිති.</verse>
				<verse number="10">ඔබට නියමිත අනුග්‍රහය ගැන දිවැස් වැකි පැවසූ දිවැසිවරු, මෙම ගැලවීම සම්බන්ධයෙන් ඕනෑකමින් හා මහත් සැලකිල්ලෙන් සොයා බැලුවේ,</verse>
				<verse number="11">ඔවුන් තුළ වූ ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේගේ වධ විඳීම් හා ඉන්පසුව සිදුවන තේජස ගැන කලින් සාක්ෂි දුන් කල, පෙන්නුම් කළේ කවරකු ගැන ද, කවර කාලයක් ගැනදැයි විපරම් කරමිනි.</verse>
				<verse number="12">ඔවුන් සේවය කළේ, තමන්ටම නො ව, ඔබට වග ඔවුනට එළිදරවු කෙරිණ. ස්වර්ගයෙන් එවන ලද ශුද්ධාත්මයාණන්වහන්සේ මඟින් ශුභාරංචිය ඔබට දේශනා කරන ලද්දවුන් ලවා දැන් ඔබට ප්‍රකාශ කරනු ලබන්නේ, ඒ දෑම ය. මේ දෑ දැක බලා ගැනීමට දේව දූතයෝ පවා දැඩි සේ ආශා වන්නෝ ය.</verse>
				<verse number="13">එබැවින්, ක්‍රියාකාරී වීමට ඔබගේ මනස සූදානම් කරගන්න; ආත්ම සංයමයෙන් යුතුව සිටින්න; යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ වන කල ඔබට දෙනු ලබන අනුග්‍රහය මත, ඔබගේ බලාපොරොත්තුව මුළුමනින් රඳවන්න.</verse>
				<verse number="14">කීකරු දරුවන්ව, පෙර නො දැනුවත්කමේ කාලයේ වූ දැඩි ආශාවනට අනුකූල නො වී,</verse>
				<verse number="15">ඔබ කැඳවූ තැනැන්වහන්සේ ශුද්ධව සිටින්නා සේ, ඔබත් ඔබගේ මුළු හැසිරීමෙන් ශුද්ධව සිටින්න.</verse>
				<verse number="16">මන්ද: “මා ශුද්ධව සිටින හෙයින්, ඔබත් ශුද්ධව සිටින්නැ” යි ලියා තිබේ.</verse>
				<verse number="17">අපක්ෂපාතීව, එකිනෙකාගේ ක්‍රියා අනුව විනිශ්චය කරන්නා වූ තැනැන්වහන්සේට පියාණෙනියි ඔබ අමතන්නේ නම්, ඔබගේ විදේශීව සිටින කාලය පුරා ගෞරව භයින් යුතුව පැවත සිටින්න.</verse>
				<verse number="18">ඔබ දන්නා පරිදි ඔබේ පියවරුන්ගෙන් උරුම වූ නිෂ්ඵල මාර්ගවලින් ඔබ මුදා ගන්නා ලද්දේ, රන් හෝ රිදී වැනි දිරා යන දේවලින් නො ව,</verse>
				<verse number="19">කැළලක්වත්, පලුද්දක්වත් නැති බැටළු පැටවකු වැනි ක්‍රිස්තුස්වහන්සේගේම අනර්ඝ ලේ මඟිනි.</verse>
				<verse number="20">ලෝකය මැවීමටත් පළමුවෙන් හැඳින සිටි නමුදු, උන්වහන්සේ විද්‍යමාන කරන ලද්දේ ඔබ උදෙසා මේ අවසන් කාලවලදී ය.</verse>
				<verse number="21">උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවා, උන්වහන්සේ තේජසට පත් කළ දෙවියන්වහන්සේ තුළ ඔබ ඇදහිලිවතුන් වන්නේ උන්වහන්සේ මඟිනි. ඒ, ඔබේ ඇදහිල්ලත්, බලාපොරොත්තුවත් දෙවියන්වහන්සේ තුළ වන පිණිස ය.</verse>
				<verse number="22">සහෝදරයන්ට අවංක ලෙස ප්‍රේම කරන පිණිස ඔබ සත්‍යයට කීකරුවීමෙන්, ඔබගේ ජීවය පවිත්‍ර කරගෙන සිටින බැවින්, පවිත්‍ර හදවතකින් උද්යෝගීව එකිනෙකාට ප්‍රේම කරන්න.</verse>
				<verse number="23">මන්ද ඔබ නැවත උත්පාද කරනු ලැබ ඇත්තේ දිරා යන බීජයකින් නො ව, නො දිරන ජීවමානවූත්, සදාතනිකවූත් දෙවියන්වහන්සේගේ වචනය මඟිනි.</verse>
				<verse number="24">මන්ද, “සියලු මාංසිකයින් තණකොළ මෙනි, ඔවුන්ගේ සකල තේජස තණ මල මෙනි; තණකොළ වියළෙයි. මල් පරව වැටෙයි.</verse>
				<verse number="25">එහෙත් ස්වාමින්වහන්සේගේ වචනය සදහට පවතියි.” ඔබට දේශනා කරන ලද ශුභාරංචිය මෙම වචනයයි.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">එබැවින් සියලු ද්වේෂ, සියලු රැවටිලි, වංකකම් හා ඊර්ෂ්‍යා ද සකල අපහාස ද දුරැලන්න.</verse>
				<verse number="2">සැබවින් ම, ස්වාමින්වහන්සේ යහපත් වග ඔබ රස බලා තිබේ නම් ඔබගේ ගැලවීමේ මෝරා වැඩෙන පිණිස,</verse>
				<verse number="3">අලුත උපන් බිළිඳුන් මෙන් අමිශ්‍ර ආත්මික කිරට බෙහෙවින් ලොල් වන්න.</verse>
				<verse number="4">මිනිසුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද නමුදු දෙවියන්වහන්සේ විසින් තෝරා ගන්නා ලද, උන්වහන්සේට අනර්ඝ වූ ජීවමාන ගලක් බඳු තැනැත්තාණන් වෙත ඔබ ආ කල,</verse>
				<verse number="5">යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේට පිළිගත මනා ආත්මික යාග පූජා ඔප්පු කරන ශුද්ධ වූ පූජක පංතියක් වන පිණිස, ඔබත් ආත්මික ගෘහයක්ව ගොඩ නැගෙන ජීවමාන ගල් වැන්න.</verse>
				<verse number="6">මන්ද ශුද්ධ ලියවිල්ල දක්වන්නේ මෙසේ ය: “මෙන්න, තෝරාගනු ලැබූ, අනර්ඝ කොනේ ගලක්, මම සියොන්හි තබමි; උන්වහන්සේ තුළ විශ්වාසය තබන කිසිවකු, ලජ්ජාවට පත් නො වේ.”</verse>
				<verse number="7">මේ අනර්ඝ වටිනාකම අදහන්නා වූ ඔබට ය; එහෙත් නො අදහන්නා වූ අයට, “ඉදිකරන්නන් ප්‍රතික්ෂේප කළ ගල, ප්‍රධාන කොනේ ගල බවට පත් විය.”</verse>
				<verse number="8">තවද එය, “පැකිළවීමේ ගලකි, බාධාවේ පර්වතයකි.” ඔවුහු වචනයට අකීකරුව පැකිළෙති. ඒ, ඔවුනට නියමව ඇති පරිදි ය.</verse>
				<verse number="9">එහෙත් ඔබ! අන්ධකාරයෙන් ස්වකීය විස්මිත ආලෝකයට ඔබ කැඳවූ තැනැන්වහන්සේගේ විශිෂ්ටතා ප්‍රකාශ කරන පිණිස, තෝරාගනු ලැබූ වංශයකි; රාජකීය පූජක පැලැන්තියකි; ශුද්ධ වූ ජාතියකි; දෙවියන්වහන්සේගේම භුක්තිය වූ ජනතාවකි.</verse>
				<verse number="10">වරක් ඔබ ජනතාවක්ව සිටියේ නැත. එහෙත් දැන් ඔබ දෙවියන්වහන්සේගේ ජනතාව ය. වරක් ඔබ දයාව ලද්දේ නැත. එහෙත් දැන් ඔබ දයාව ලැබ සිටිති.</verse>
				<verse number="11">ප්‍රේමණීයයනි, විදේශීන් හා ආගන්තුකයින් වූ ඔබගෙන් මා උදක්ම ඉල්ලා සිටින්නේ ඔබේ ජීවයට එරෙහිව යුද වදින මාංසික තෘෂ්ණාවන්ගෙන් වැළකී සිටින ලෙසයි.</verse>
				<verse number="12">ඔබ වැරදි කරන්නවුන් යැයි අන්‍ය-ජාතීන් ඔබට චෝදනා කළත්, ඔවුන් ඔබගේ යහ වැඩ දැක, විනිශ්චය දවසේ ඔවුන් දෙවියන්වහන්සේට මහිමය දක්වන පිණිස, අන්‍ය-ජාතීන් අතරේ ගෞරවනීයව පැවත සිටින්න.</verse>
				<verse number="13">හැම මිනිස් අධිකාරිත්වයකට ස්වාමින්වහන්සේ උදෙසා යටත් වන්න. ඒ, ශ්‍රේෂ්ඨ බලධාරියා වශයෙන් රජු විය හැකි ය;</verse>
				<verse number="14">නපුර කරන්නවුනට දඬුවම් දෙන්නටත්, හරි දේ කරන්නවුන් පසසන්නටත් ඔහු විසින් යවන ලද ආණ්ඩුකරුවන් විය හැකි ය.</verse>
				<verse number="15">මන්ද දෙවියන්වහන්සේගේ කැමැත්ත එයයි; එනම් හරි දේ කිරීමෙන්, මෝඩ මිනිසුන්ගේ නූගත්කම නිරුත්තර කිරීමයි.</verse>
				<verse number="16">නිදහස් මිනිසුන් ලෙස ජීවත් වන්න. එහෙත් ඔබගේ නිදහස දුෂ්ටකම් වසාගැන්මේ ආවරණයක් කර නො ගෙන, දෙවියන්වහන්සේගේ දාසයින් ලෙස ජීවත් වන්න.</verse>
				<verse number="17">හැමට ගෞරව දක්වන්න. සහෝදරත්වයට ප්‍රේම කරන්න. දෙවියන්වහන්සේට බය වෙන්න. රජුට ගරු කරන්න.</verse>
				<verse number="18">දාසයිනි, ඔබගේ ගුණ යහපත් හා මෘදු හාම්පුතුනට පමණක් නො ව අසාධාරණ අයටත් සියලු ගරුත්වයෙන් යුතුව යටත් වන්න.</verse>
				<verse number="19">දෙවියන්වහන්සේ කෙරෙහි වූ හෘදය සාක්ෂිය නිසා යමෙක්, අසාධාරණයේ පීඩා විඳ දරා ගන්නේ නම් එය ප්‍රශංසනීය ය.</verse>
				<verse number="20">මන්ද ඔබ වරද කර, එනිසා ලැබෙන පහරකෑම විඳ දරා ගැනීමේ ඇති ගෞරවය කිමෙක් ද? එහෙත් හරි දෙයක් කිරීම නිසා එන වධ වේදනා ඔබ ඉවසිල්ලෙන් විඳ දරා ගනී නම්, දෙවියන්වහන්සේ ඉදිරියේ එය ප්‍රශංසනීය ය.</verse>
				<verse number="21">ඔබ කැඳවනු ලැබ ඇත්තේ මේ සඳහා ය. මන්ද ඔබත් උන්වහන්සේගේ අඩිපාරේ යන පිණිස, ක්‍රිස්තුස්වහන්සේ ඔබට ආදර්ශයක් දෙමින්, ඔබ උදෙසා වධ වේදනා විඳි සේක.</verse>
				<verse number="22">“උන්වහන්සේ කිසි පවක් කළේ නැත. උන්වහන්සේගේ මුවෙහි කිසි මුසාවක් ද හමු වූයේ නැත.”</verse>
				<verse number="23">උන්වහන්සේට නින්දා අපහාස කරනු ලැබූ කල, උන්වහන්සේ පෙරළා නින්දා කළේ නැත; උන්වහන්සේ වධ විඳි කල, තර්ජන කළේ නැත. ඒ වෙනුවට උන්වහන්සේ යුක්තියෙන් විනිශ්චය කරන තැනැන්වහන්සේට තමන්ම භාරවන්නට වූ සේක.</verse>
				<verse number="24">“පාපයට අප මැරී, ධර්මිෂ්ඨකමට ජීවත් වන පිණිස, උන්වහන්සේ ස්වකීය ශරීරයෙන් ගස පිටදී අපගේ පාප දරාගත් සේක. උන්වහන්සේගේ තුවාලවලින් ඔබ සුව කරනු ලැබ ඇත.”</verse>
				<verse number="25">මන්ද “ඔබ සිටියේ මංමුළා වී යන බැටළුවන් මෙනි.” එහෙත් දැන් ඔබ ඔබගේ ජීවයේ එඬේරාණන් ද භාරකරුවාණන් ද වෙත හැරී ඇවිදින් ය.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">භාර්යාවනි, ඒ අයුරින් ඔබත් ඔබගේ ස්වාමි පුරුෂයනට යටත් වන්න, එවිට වචනයට කීකරු නො වන කෙනකු වචනයෙන් තොරව, ඔවුන්ගේ භාර්යාවන්ගේ හැසිරීම තුළින් ඔවුන් දිනාගත හැක්කේ,</verse>
				<verse number="2">ඔවුන් ඔබගේ විනීත, පවිත්‍ර පැවැත්ම දැකීමෙනි.</verse>
				<verse number="3">ඔබගේ ලස්සන, කොණ්ඩා මෝස්තර, රන් ආභරණ හා ඇඳුම් පැලඳුම් වැනි බාහිර දෙයින් නො ව,</verse>
				<verse number="4">දෙවියන්වහන්සේ හමුවේ ඉතා අනර්ඝ විනීත හා ශාන්ත ජීවගුණයෙන් යුතු හදවතේ ඇතුළාන්ත ස්වභාවයේ නො දිරන ලස්සනක් වේවා.</verse>
				<verse number="5">මන්ද දෙවියන්වහන්සේ තුළ තම බලාපොරොත්තු තැබූ ඉහත විසූ ශුද්ධවත් ස්ත්‍රීන් තම ස්වාමි පුරුෂයනට යටත් වෙමින්, ලස්සන වීමට පුරුදුව සිටියේ එලෙසයි.</verse>
				<verse number="6">ආබ්‍රහම්ට කීකරු වෙමින්, ඔහුට ස්වාමියා යයි ඇමතූ සාරා පරිද්දෙන්, හරි දේ කරමින්, බිය වද්දන කිසිවකට බය නො වී සිටින්නේ නම් ඔබ ඇගේ දූවරුන් ය.</verse>
				<verse number="7">ස්වාමි පුරුෂයිනි, එපරිදි ඔබත්, ඔබගේ යාච්ඤාවනට බාධා නො පැමිණෙන පිණිස, ඔබගේ භාර්යාවන් ඔබ හා සමඟ ජීවනයේ අනුග්‍රහයේ සම-උරුමක්කාරියන් වන බැවින්, දුර්වල පක්ෂය නිසා ඇයට ගෞරවයෙන් සලකා, ඔවුන් සමඟ වැටහීමෙන් ජීවත් වන්න.</verse>
				<verse number="8">අවසන් වශයෙන් ඔබ හැම, එකිනෙකා හා සමඟියෙන්, සානුකම්පිතව, සහෝදර ප්‍රේමයෙන් යුතුව, මෘදු හදවතින් හා නිහතමානී සිතින් සිටින්න.</verse>
				<verse number="9">නපුරට නපුරවත්, නිග්‍රහයට නිග්‍රහයවත් නො කරන්න. එසේ නො කර, ඔබ කැඳවා ඇත්තේ ආශිර්වාදයක් උරුම කර ගන්නට බැවින් ආශිර්වාද කරන්න.</verse>
				<verse number="10">මන්ද, “ජීවිතයට ප්‍රේම කරන්නට හා භාග්‍යවත් දවස් දකින්නට ආශා කරන කවරෙක් වුව, තම දිව නපුරෙන් ද තම තොල් රැවටිලි කතාවෙන් ද දුරුව තබා ගනිත්වා.</verse>
				<verse number="11">ඔහු නපුරෙන් ඉවත හැරී, යහපත කළා වේ. ඔහු සාමය සොයා, එය ලුහුබැඳ ගියා වේ;</verse>
				<verse number="12">මන්ද ස්වාමින්වහන්සේගේ ඇස්, ධර්මිෂ්ඨයින් වෙත ය; උන්වහන්සේගේ කන්, ඔවුන්ගේ යාච්ඤාවට විවෘත ය; එහෙත් නපුර කරන්නන්ට ස්වාමින්වහන්සේගේ මුහුණ විරුද්ධ ය.”</verse>
				<verse number="13">යහපත කිරීමට ඔබ උද්යෝගී නම්, ඔබට අනතුරු කරන්නේ කවුරු ද?</verse>
				<verse number="14">එසේ වුවත් ධර්මිෂ්ඨකම උදෙසා පීඩා විඳින්නට ඔබට සිදු වුවත්, ඔබ ආශිර්වාද ලබන්නේ ය. “ඔවුනට බය නො වන්න; නො කැලඹෙන්න.”</verse>
				<verse number="15">ඔබේ හද තුළ ස්වාමින්වහන්සේ ශුද්ධ කොට සලකා, ඔබට ඇති බලාපොරොත්තුව ගැන හේතු විමසන සැමට නිසි පිළිතුරු දීමට හැම විට සූදානමින් සිටින්න. එහෙත් ආචාරශීලීව හා ගරු සැලකිල්ලෙන් යුතුව එසේ කළ යුත්තේ,</verse>
				<verse number="16">ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබගේ යහ පැවැත්ම ගැන පරිභව කරන්නන් ඔබට අපහාස කරන කල, ඔවුන් ලජ්ජාවට පත් වන පිණිස, පිරිසිදු හෘදය සාක්ෂියක් ඇතිව ය.</verse>
				<verse number="17">මන්ද යහපත කර දුක් විඳීම දෙවියන්වහන්සේගේ කැමැත්ත නම්, නපුර කර දුක් විඳීමට වඩා එය හොඳ ය.</verse>
				<verse number="18">මන්ද ක්‍රිස්තුස්වහන්සේ පාප උදෙසා එක් වරක් මැරුණු සේක. ධර්මිෂ්ඨ තැනැන්වහන්සේ අධර්මිෂ්ඨයින් උදෙසා එසේ කළේ, දෙවියන්වහන්සේ වෙත අප පමුණුවන පිණිස ය. උන්වහන්සේ මාංසයෙන් මරණයට පත් කරනු ලැබූ නමුදු ආත්මයෙන් ජීවනයට ගෙනෙනු ලැබූ සේක්,</verse>
				<verse number="19">එම ආත්මයෙන් ගොස්, සිරගත ආත්මයනට දේශනා කළ සේක.</verse>
				<verse number="20">මන්ද ඔවුන්, නෝවාගේ දවස්වලදී නැව සාදන අතරේ දෙවියන්වහන්සේ ඉවසිලිවත්ව බලා සිටි කාලයේදී කීකරු නො වූවන් ය. ඒ නැවෙහි ස්වල්ප දෙනෙක්, ගණනින් අට දෙනෙක් පමණක් ජලය තුළින් ගලවනු ලැබූහ.</verse>
				<verse number="21">ඊට අනුරූප වන බව්තීස්මයෙන් දැන් ඔබ ගැලවේ; ඒ, ශරීරයෙන් කිලුට පහ කිරීමක් වශයෙන් නො ව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත නැගිටීම හේතු කොට ගෙන පිවිතුරු හෘදය සාක්ෂියකින් දෙවියන්වහන්සේට කරන පොරොන්දුවක් වශයෙනි.</verse>
				<verse number="22">උන්වහන්සේ ස්වර්ගයට පිවිස, දේව දූතයින් ද අධිපතීන් ද බලධාරීන් ද උන්වහන්සේට යටත් කරනු ලැබ, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ සිටින සේක.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">එබැවින්, ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් වධ විඳි බැවින්, ඔබත් එම ආකල්පයෙන් සන්නද්ධ වන්න. මන්ද මාංසයෙන් වධ විඳි තැනැත්තා පාපයෙන් නිදහස්ව සිටී.</verse>
				<verse number="2">එවිට ඔහු මාංසයේ ජීවත් වන ඉතිරි කාලය මිනිස් තෘෂ්ණා සඳහා නො ව, දෙවියන්වහන්සේගේ කැමැත්ත උදෙසා ජීවත් වෙයි.</verse>
				<verse number="3">මන්ද අන්‍ය-ජාතීන් කැමැත්තෙන් තෝරා ගන්නා ඉන්ද්‍රියයන් පිනවීම, තෘෂ්ණාව, බේබදුකම, මධු-සාද, සුරාපාන උත්සව හා පිළිකුල් පිළිම රූප වන්දනාව යන දෑහි යෙදෙමින් ඔබත් ඇති තරම් කලක් ජීවත් වී ඇත.</verse>
				<verse number="4">තවදුරටත් ඔබ ඔවුන් සමඟ ඒ අනර්ථකාරී දුරාචාර ප්‍රවාහයේ නො ගිලෙන්නේ මන්දැයි ඔවුහු පුදුමව, ඔබට අපවාද නගති.</verse>
				<verse number="5">එහෙත් ජීවතුන් ද මළවුන් ද විනිශ්චය කිරීමට සූදානම් තැනැන්වහන්සේට ගණන් දීමට ඔවුනට සිදු වෙයි.</verse>
				<verse number="6">මළවුන්ට පවා ශුභාරංචිය දේශනා කරන ලද්දේ මේ හේතුව නිසා ය; එනම්, මිනිසුන්ගේ කැමැත්තට අනුව මාංසාකාරයෙන් විනිශ්චය කරනු ලැබුව ද, ආත්මිකව ඔවුන් දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත් වන පිණිස ය.</verse>
				<verse number="7">සියල්ලේ අවසානය ළංව ඇත. එබැවින් ඔබ යාච්ඤාවේ යෙදෙන පිණිස ආත්ම සංයමයෙන් හා පැහැදිලි මනසින් යුතු වන්න.</verse>
				<verse number="8">ප්‍රේමය පව් රාශියක් වසා දමන බැවින්, හැම දේටම වඩා ලැදිව එකිනෙකාට ප්‍රේම කරන්න.</verse>
				<verse number="9">මැසිවිල්ලෙන් තොරව, එකිනෙකාට ආගන්තුක සත්කාර කරන්න.</verse>
				<verse number="10">දෙවියන්වහන්සේගේ අනේකාකාර අනුග්‍රහයේ විශ්වාසනීය කළමනාකරුවන් ලෙස එකිනෙකාට ලැබී ඇති දීමනාව කවරක් වුව ද, එය අන්‍යයන්ට සේවය කිරීමට යොදවන්න.</verse>
				<verse number="11">යමෙක් වචනය කතා කරන්නේ නම්, ඔහු දෙවියන්වහන්සේගේ වචන කතා කරන්නකු ලෙස එය කළ යුතු ය. යමෙක් සේවය කරන්නේ නම්, දෙවියන්වහන්සේ සපයන ශක්තියෙන් ඔහු එය කළ යුතු ය. එසේ කළ යුත්තේ, හැම දේහිදීම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේ තේජෝමහිමයට පැමිණෙන පිණිස ය. තේජෝමහිමයත්, ආධිපත්‍යයත් සදහට ම උන්වහන්සේගේ ය! ආමෙන්.</verse>
				<verse number="12">ප්‍රේමණීයයනි, ඔබ පරීක්ෂා කරන්නට දැවෙන පරීක්ෂා ඔබ පිට පැමිණි කල, ඔබට මහ අමුතු දෙයක් සිදු වෙතැයි විස්මිත නො වන්න;</verse>
				<verse number="13">උන්වහන්සේගේ තේජෝ මහිමය එළිදරවු වන කල ඔබත් ප්‍රීති වන, ප්‍රමෝද වන පිණිස, ක්‍රිස්තුස්වහන්සේගේ දුක් විඳීමට ඔබත් පංගුකාර වන තරමට ප්‍රීතිවන්න.</verse>
				<verse number="14">ක්‍රිස්තුස්වහන්සේගේ නාමය නිසා ඔබ නින්දාවට පත් වේ නම්, ඔබ භාග්‍යවත් ය. මන්ද තේජසේ ද දෙවියන්වහන්සේගේ ද ආත්මයාණෝ, ඔබ මත නැවතී සිටින සේක.</verse>
				<verse number="15">එහෙත් ඔබ කිසිවකු මිනී මරුවකු, සොරකු, අපරාධකරුවකු හෝ අනුන්ගේ කාරණාවලට ඇඟිලි ගසන්නකු ලෙස පීඩා විඳින්නකු නො වෙත්වා;</verse>
				<verse number="16">කෙසේ වෙතත් ඔබ පීඩා විඳින්නේ ක්‍රිස්තියානිකාරයකු වශයෙන් නම්, ඒ ගැන ලජ්ජා නො වන්න. ඔබ දරන ඒ නාමය ගැන දෙවියන්වහන්සේට ගෞරව දෙන්න.</verse>
				<verse number="17">මන්ද දෙවියන්වහන්සේගේ ගෘහ වාසීන්ගෙන් විනිශ්චය පටන්ගැන්මේ කාලය එළඹ තිබේ. එය ඇරඹෙනුයේ අප වෙතින් නම් දෙවියන්වහන්සේගේ ශුභාරංචියට අකීකරුවූවන්ට කෙබඳු විපාකයක් අත් වේ ද?</verse>
				<verse number="18">තවද, “ධර්මිෂ්ඨයින් ගැලවෙන්නේ අසීරුවෙන් වේ නම්, අභක්තිකයන්ට හා පව්කරුවන්ට එය කෙසේ වනු ඇද්ද?”</verse>
				<verse number="19">එබැවින්, දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව පීඩා විඳින අය, යහ වැඩ කිරීමේ නියැළෙමින්, තමන්ගේ විශ්වාසී මැවුම්කරුවාණන්ට තමන්ම බාර විය යුතු ය.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">ක්‍රිස්තුස්වහන්සේගේ දුක් පීඩාවල සාක්ෂිකරුවකු හා මතු එළිදරවු වන තේජෝ මහිමයේ පංගුකරුවකු වන මම, ඔබ හා සමාන සභා-මූලිකයකු වශයෙන් ඔබ අතර සිටින සභා-මූලිකයන්ගෙන් මෙසේ අයදිමි.</verse>
				<verse number="2">විශ්වාසී භාරකරුවන් සේ සේවය කරමින්, ඔබ භාරයේ වෙසෙන දෙවියන්වහන්සේගේ බැටළු රැළ රැක-බලාගන්න; එය කළ යුත්තේ බලකිරීමක් නිසා නො ව, දෙවියන්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන පරිදි ස්ව-කැමැත්තෙනි; ලජ්ජා සහගත වාසියකට නො ව, සේවයට ලැදියාවෙනි;</verse>
				<verse number="3">ඔබට භාර දෙන ලද්දවුන් වෙත අධිපතිකමින් නො ව, රැළට ආදර්ශවත් වෙමිනි.</verse>
				<verse number="4">එවිට ප්‍රධාන එඬේරාණන් ප්‍රකාශ වන කල නො මැලවෙන තේජසේ කිරුළ ඔබට ලැබෙනු ඇත.</verse>
				<verse number="5">එසේම, තරුණ වූ ඔබ, වැඩිහිටියනට අවනත වන්න. ඔබ හැම කෙනෙක්ම එකිනෙකා වෙත යටහත්කමින් සැරසෙන්න. මන්ද, “දෙවියන්වහන්සේ උඩඟු වූවනට එරෙහි වන සේක්, යටහත් අයට අනුග්‍රහය දෙන සේක.”</verse>
				<verse number="6">එබැවින් නිසි කල්හි දෙවියන්වහන්සේ ඔබ උසස් කරන පිණිස, උන්වහන්සේගේ පරාක්‍රමවත් හස්තය යටතේ යටත් වන්න.</verse>
				<verse number="7">උන්වහන්සේ ඔබ ගැන සැලකිලිමත් බැවින්, ඔබගේ හැම තැවුල් උන්වහන්සේ වෙත හෙළා ලන්න.</verse>
				<verse number="8">සන්සුන්ව සිටින්න; විමසිල්ලෙන් සිටින්න. ඔබගේ සතුරා වූ යක්ෂයා කවරකු ගොදුරු කර ගනිම්දෝයි මාන බලමින්, ගොරවන සිංහයකු සේ ඔබ මොබ ගැවසෙයි.</verse>
				<verse number="9">ලොව පුරා ඔබගේ සහෝදරයින් ද ඔබ මෙන් එකම විදියේ දුක් පීඩා මැදින් ගමන් ගන්නා බව ඔබ දන්නා බැවින්, ඇදහිල්ලේ ස්ථාවරව පිහිටා සිට, යක්ෂයාට එරෙහි වන්න.</verse>
				<verse number="10">ස්වල්ප කලක් දුක් විඳි පසු, ක්‍රිස්තුස්වහන්සේ තුළ තමන්වහන්සේගේ සදාතනික තේජෝමහිමයට ඔබ කැඳවාගත්, සකල අනුග්‍රහයේ දෙවියන්වහන්සේ, ඔබ ප්‍රකෘතිමත් කර, ශක්තිමත් කර, ස්ථාවර කර, ස්ථිර පදනමක ඔබ පිහිටු වන සේක.</verse>
				<verse number="11">උන්වහන්සේට සදාතනිකව ම බලපරාක්‍රමය වේවා! ආමෙන්.</verse>
				<verse number="12">විශ්වාසී සහෝදරයෙකැයි මා සලකන සිල්වානස්ගේ උපකාරයෙන්, ඔබ දිරි ගන්වමින්, දෙවියන්වහන්සේගේ යථා අනුග්‍රහය මේ යයි සාක්ෂි දෙමින් මම ඔබට ලීවෙමි. අනුග්‍රහයේ ස්ථාවරව පිහිටා සිටින්න.</verse>
				<verse number="13">ඔබ සමඟ දෙවියන්වහන්සේ විසින් තෝරා ගන්නා ලද බබිලෝනි සභා තොමෝ ඔබට ආචාර කරන්නී ය. මා පුත් මාර්ක් ද ඔබට ආචාර කරයි.</verse>
				<verse number="14">ප්‍රේමයේ සිපාචාරයකින් එකිනෙකාට සමාචාර දක්වන්න. ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින ඔබ හැමට සාමය වේවා!</verse>
			</chapter>
		</book>
		<book number="61">
			<chapter number="1">
				<verse number="1">යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයකු ද අපෝස්තුලුවරයකු ද වූ සීමොන් පේතෘස් වෙතිනි. අපගේ දෙවියන්වහන්සේ ද ගැලවුම්කරුවාණන් ද වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම මඟින්, අප ලබා ඇති සේ එක සමාන අනර්ඝ ඇදහිල්ලක් ලද්දවුන් වෙතයි.</verse>
				<verse number="2">දෙවියන්වහන්සේ ද යේසුස් අප ස්වාමින්වහන්සේ ද දැන-හැඳිනගැනීම තුළින් අනුග්‍රහයත්, සාමයත් වැඩි-වැඩියෙන් ඔබට අත් වේවා!</verse>
				<verse number="3">ජීවිතයටත්, දේව භක්තියටත් අදාළ හැම දෙයක්ම උන්වහන්සේගේ දිව්‍ය-බලය අපට ප්‍රදාන කොට ඇත්තේ, ස්වකීය තේජෝ මහිමයෙන් හා විශිෂ්ටත්වයෙන් අප කැඳවූ තැනැන්වහන්සේ දැනගැන්ම තුළිනි.</verse>
				<verse number="4">එතුළින් උන්වහන්සේ අනර්ඝවූත්, අති ශ්‍රේෂ්ඨවූත් තම පොරොන්දු අපට දී ඇත්තේ, පාපී තෘෂ්ණා විසින් උපදවනු ලබන ලෝකයේ දූෂ්‍යතා වෙතින් ගැලවී ගොස්, ඒ පොරොන්දු උපයෝගී කරගෙන, ඔබ දිව්‍ය ස්වභාවයේ පංගුකරුවන් වන පිණිස ය.</verse>
				<verse number="5">මේ හේතුව නිසා, හැම උත්සාහයක්ම දරමින් ඔබේ ඇදහිල්ලට සදාචාරය ද සදාචාරයට දැනගැන්ම ද</verse>
				<verse number="6">දැනගැන්මට ආත්ම සංයමය ද ආත්ම-සංයමයට නො පසුබට වීර්යය ද නො පසුබට වීර්යයට භක්තිවන්තකම ද</verse>
				<verse number="7">භක්තිවන්තකමට සහෝදර සෙනෙහස ද සහෝදර සෙනෙහසට ප්‍රේමය ද එක්කර ගන්න.</verse>
				<verse number="8">මෙම ගුණාංග ඔබට හිමිව, නිති වැඩේ නම්, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ දැනගැන්ම නිෂ්ඵල වීමට හෝ නිස්සාර වීමට ඒවා ඉඩ නො දෙනු ඇත.</verse>
				<verse number="9">එහෙත් යමකුට මෙම ගුණදම් නො මැති නම්, ඔහු දුර නො පෙනෙන අන්ධයෙකි. කලින් කළ පාපවලින් තමන් සෝදා පවිත්‍ර කරනු ලැබූ වග ඔහු අමතක කර ඇත.</verse>
				<verse number="10">එබැවින් මා සහෝදරයිනි, ඔබගේ කැඳවීමත්, තෝරාගැන්මත් සහතික කරන පිණිස, වඩ වඩා උත්සුක වන්න. ඔබ එසේ ක්‍රියා කරනවා නම් කිසි දින ඔබ පැකිළෙන්නේ නැත.</verse>
				<verse number="11">මෙසේ අපගේ ස්වාමින්වහන්සේ ද ගැලවුම්කරුවාණන් ද වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සදාතන රාජ්‍යයට පිවිසීමේ ඉහළ පිළිගැනීමක් ද ඔබට හිමි වේ.</verse>
				<verse number="12">මේ දෑ ඔබ දනිතත්, දැනට ඔබ අත්කර ගෙන ඇති සත්‍යතාවෙහි ඔබ ස්ථාවරව පිහිටා සිටිතත් මෙසේ මම නිරතුරු මේ දෑ ඔබට සිහි කරමි.</verse>
				<verse number="13">මා සිතන්නේ මේ ශාරීරික කූඩාරමේ මා ජීවත් වන තාක් ඔබට මේ දෑ සිහිගැන්වීම යුතු ය කියා ය.</verse>
				<verse number="14">මන්ද යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ පහදා දී ඇති පරිදි මේ ශාරීරික කූඩාරම මා නො පමාව හැර යන වග මම දනිමි.</verse>
				<verse number="15">එබැවින් මගේ ඇවෑමෙන් පසුවත් නිරතුරු මේ දෑ ඔබට මතක් කර ගනු හැකි වන පිණිස හැකි හැම වෑයමක්ම දරමි.</verse>
				<verse number="16">යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ බලයත්, පැමිණීමත් ගැන අප ඔබට පැවසූ කල, අප එසේ කළේ ප්‍රයෝගයෙන් ගෙතූ ප්‍රබන්ධ අනුව නො වේ. උන්වහන්සේගේ මහිමශ්‍රීය ඇසින් දුටු සාක්ෂිකරුවෝ අපම ය.</verse>
				<verse number="17">මන්ද “මාගේ ප්‍රේමණීය පුත්‍රයාණෝ මොහුයි. මොහු කෙරේ මම බොහෝ ප්‍රසාදව සිටිමි” යි කියැවුණු හඬක් මහානුභා තේජස වෙතින් පැමිණි කල උන්වහන්සේ පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගෙන් ගෞරවයත්, මහිමයත් ලැබූ සේක.</verse>
				<verse number="18">උන්වහන්සේ සමඟ ඒ ශුද්ධ කන්දේ සිටියදී ස්වර්ගයෙන් පැමිණි එම කටහඬ අපි අපේම කනින් ඇසීමු.</verse>
				<verse number="19">වඩාත් සත්‍ය වගට තහවුරු වූ දිවැස් වැකි අපට තිබේ. දවස උදා වී, පහන් තරුව ඔබේ හදේ පායන තෙක් අඳුරු තැනක බබළන පහනක් සේ, ඒවා වෙත ඔබේ අවධානය යොමු කිරීම වටී.</verse>
				<verse number="20">ශුද්ධ ලියවිල්ලේ කිසි දිවැස්වැකියක් යමකුගේ අදහසකට අනුව හට නො ගන්නා වග සියල්ලටම පළමු ඔබ වටහා ගත යුතු ය.</verse>
				<verse number="21">මන්ද යම් දිවැස්වැකියක් කොහෙත්ම මිනිසාගේ හිතු මනාපයට උත්පාද නො වේ. ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් පොලඹවනු ලැබූ කල මනුෂ්‍යයෝ දෙවියන්වහන්සේගෙන් ලැබුණු වචන කතා කළහ.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">එකල ජනතාව අතරේ බොරු දිවැසිවරුන් වූ සේ ම ඔබ අතරේ ද බොරු ගුරුන් ඇති වන්නේ ය. මෙම බොරු ගුරුවරු තමන්ව මිලදී ගත් ස්වාමියාණන් පවා ප්‍රතික්ෂේප කරමින්, තමන් පිට සීඝ්‍ර විනාශයක් පමුණුවා ගනිමින්, විනාශකාරී මිථ්‍යා-ධර්ම හොර රහසේම හඳුන්වා දෙති.</verse>
				<verse number="2">බොහෝ දෙනකු ඔවුන්ගේ මෙම නීච දුරාචාර මාර්ග අනුගමන කිරීමේ හේතුවෙන්, සත්‍යයේ මාර්ගයට නිග්‍රහ පැමිණෙනු ඇත.</verse>
				<verse number="3">මෙම ගුරුන් මුදලට තණ්හාවෙන්, තමන්ම ගෙතූ කතා මඟින් තම වාසිය සඳහා ඔබ වෙළඳාමක් කර ගනු ඇත. ඔවුන්ගේ වරදට හිමි දණ්ඩනය ඈත අතීතයේ සිටම සූදානම්ව පවතී. ඔවුන්ගේ විනාශය නිදා ගන්නේ නැත.</verse>
				<verse number="4">මන්ද දේව දූතයින් පව් කළ කල්හි දෙවියන්වහන්සේ ඔවුන්ට දඬුවම් දීමෙන් නො වැළකී, විනිශ්චය තෙක් ඔවුන් රඳවා තබන්නට නිරයට යවා, ඝන අන්ධකාර බන්ධනයේ හෙළූ සේක් නම්,</verse>
				<verse number="5">ලෝකයේ දුෂ්ට අභක්තික ජනයා පිට ජල ගැල්ම එවූ කල, උන්වහන්සේ එම පැරණි ලෝකයට දඬුවම් දීමෙන් නො වැළකී, ධර්මිෂ්ඨකමේ දේශකයකු වූ නෝවා ද තවත් හත්දෙනකු ද පමණක් ආරක්ෂා කළ සේක් නම්,</verse>
				<verse number="6">උන්වහන්සේ සොදොම් හා ගොමොරා නගර දවා අළු කරමින් ඊට දඬුවම් දී, අභක්තික දුෂ්ටයනට මතු සිදුවන දේ ගැන එමඟින් පාඩමක් දුන් සේක් නම්,</verse>
				<verse number="7">අසංවර මිනිසුන්ගේ දූෂිත ජීවිත පැවැත්ම නිසා සංවේගයට පත් ධර්මිෂ්ඨ මිනිසකු වූ ලොත් උන්වහන්සේ මුදා ගත් සේක් නම්,</verse>
				<verse number="8">(මේ ධර්මිෂ්ඨ මිනිසා ඔවුන් අතරේ දිනෙන් දින දිවි ගෙවමින්, ඔහු ඇසූ දුටු ඔවුන්ගේ නොපනත්කම් නිසා තම ධර්මිෂ්ඨ ආත්මයෙන් වේදනා වින්දේය)</verse>
				<verse number="9">දේව භක්තිකයින් පරීක්ෂාවන්ගෙන් ගලවන්නේ කෙසේ ද යන්නත්, විනිශ්චය දවස දක්වා අදමිටුවන් ඔවුන්ගේ දඬුවම් යටතේ දිගටම තබා ගන්නේ කෙසේ ද යන්නත් ස්වාමින්වහන්සේ දන්නා සේක.</verse>
				<verse number="10">විශේෂයෙන් මෙය බලපාන්නේ පාපී ස්වභාවයේ දූෂිත රාග තෘෂ්ණාවල යෙදෙන්නාවූත්, ආධිපත්‍යයට නිග්‍රහ කරන්නාවූත් අයට ය. බිය සැක නැති මේ හිතුවක්කාර මිනිස්සු ශ්‍රේෂ්ඨයින්ට එරෙහිව නින්දා අපහාස කරන්නට වුව බය නො වෙති.</verse>
				<verse number="11">දේව දූතයින්, සවියෙන් හා බලයෙන් වැඩි වුව ද ඔවුහු ස්වාමින්වහන්සේ අබියස ඔවුනට එරෙහිව අපහාසාත්මක චෝදනා නො නගති.</verse>
				<verse number="12">එහෙත් මේ මිනිස්සු තමනට නො වැටහෙන දේට අපහාස කරති. මොවුන් සමාන වන්නේ අල්ලා, මරා දමනු ලබන්නට පමණක් උපන් අනුවණ සතුන් වූ වන මෘගයනට ය. ඒ සතුන් මෙන් මොවුහු ද විනාශයටම යනු ඇත.</verse>
				<verse number="13">තමන් විසින් කරන ලද පීඩාවේ කුලිය වශයෙන් ඔවුන් පීඩා විඳිනු ඇත. මහ දවල් මධු-සාද පැවැත්වීම ඔවුන්ගේ ප්‍රීතියේ අරමුණයි. ඔවුන් ඔබ සමඟ සංග්‍රහ විඳින කල, තමන්ගේ තෘෂ්ණා රැවටිලිකාරීව ප්‍රදර්ශන කරන කල, එහි පලුදු හා කැළැල් ද ඔවුන්ම ය.</verse>
				<verse number="14">ඔවුහු ලිංගික තෘෂ්ණා පිරුණු ඇසින් යුතුව සෑහීමක් නැතිව පවෙහි ගැලෙති; අස්ථිරවූවන් වරදට පොලඹවති. ඔවුහු තණ්හාවට පුහුණු කර ගත් සිත් ඇත්තෝ ය; ශාප ලත් දරුවෝ ය.</verse>
				<verse number="15">සෘජු මාර්ගය අත්හළ ඔවුහු දුෂ්ටකමේ කුලී මුදලට ගිජු වූ බෙයොර්ගේ පුත් බාලාම්ගේ මාර්ගයේ යනු පිණිස, මං මුළාව ගියාහු වෙති.</verse>
				<verse number="16">එහෙත් බාලාම් තමා කළ වරදට තරවටු ලැබී ය; කතා බැරි බූරුවකු මිනිස් කටහඬින් කතා කළෙන් ඒ දිවැසිවරයාගේ මෝඩකම වැළැක්විණ.</verse>
				<verse number="17">මොවුන් ජලය නැති උල්පත් ය; කුණාටුවෙන් පලවා හැරෙන මීදුමක් ය. ඔවුන්ට වෙන් කර ඇති තැන ඝන අන්ධකාරයයි.</verse>
				<verse number="18">මන්ද වරදෙහි ගැලෙන්නවුන් වෙතින් මිදී ආ නවකයින් වෙත හිස් වචන ද පුරාජේරු කතා හා පවිටු මිනිස් ස්වභාවේ රාගික පෙලඹවීම් ද පානා ඔවුහු,</verse>
				<verse number="19">තමන්ම අන්ත දූෂිතයෙහි වහලුන්ව සිටියදී, ඒ අයට නිදහස ගෙන දීමට පොරොන්දු වෙති. යමෙක් යමකට යටත් නම්, ඒ යටත් වූ දෑට ඔහු වහලකු වෙයි.</verse>
				<verse number="20">අපගේ ස්වාමියාණන් හා ගැලවුම්කරුවාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දැන-හැඳිනගැනීම මඟින්, ලෝකයේ දූෂිතකමින් ගැලවුණු ඔවුන්, යළිත් ඒ දූෂ්‍යතාහි පැටලී ඊට යටත් වුවහොත් ඔවුන්ගේ අවසානය, ඔවුන්ගේ පළමු තත්වයට වඩා බෙහෙවින්ම නරක් වේ.</verse>
				<verse number="21">ධර්මිෂ්ඨත්වයේ මාර්ගය දැන, තමනට භාර දුන් ශුද්ධ නියෝගයට පිටු පෑමට වඩා, එය නො දැන සිටීම ඔවුනට හොඳ ය.</verse>
				<verse number="22">“බල්ලා, ඌ වමනය කළ දේටම ආපසු හැරී එයි” යන ප්‍රස්තාව පිරුළ හා “නෑවාවූ ඊරී ආපසු මඩේ පෙරළීමට යයි” යන ප්‍රස්තාව පිරුළ ඔවුන් සම්බන්ධයෙන් සැබෑ ය.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">ප්‍රේමණීයයනි, දැන් මා ඔබට ලියන්නේ මගේ දෙවන ලිපියයි. සිහිගැන්වීමේ මෙම ලිපි දෙකින්ම මා උත්සාහ කළේ, ඔබ තුළ නිමල සිතිවිලි පුබුදාලීමටයි.</verse>
				<verse number="2">ශුද්ධ දිවැසිවරුන් මඟින් ඉහතදී පවසන ලද පණිවුඩ හා ඔබගේ අපෝස්තුලුවරුන් මඟින් අපගේ ගැලවුම්කාර ස්වාමින්වහන්සේ විසින් දෙන ලද නියෝග ඔබට යළි සිහිගන්වන්නට මා කැමතියි.</verse>
				<verse number="3">සියල්ලට පළමු, ඔබ වටහා ගත යුත්තේ මෙයයි. එනම්, සත්‍යයට ගරහමින් තමන්ගේම දුෂ්ට තෘෂ්ණා අනුව කටයුතු කරන ගරහන්නන් අවසන් දවස්හිදී පැමිණෙන වගයි.</verse>
				<verse number="4">ඔවුන්, “එතුමාණන් පොරොන්දු වූ පැමිණීම කෝ! අපේ පියවරුන් මැරුණු පසුත්, ලෝකය මැවූ තැන් පටන් තිබූ ලෙස හැම දේ වෙතැ” යි කියනු ඇත.</verse>
				<verse number="5">ඔවුහු හිතා-මතා මේ කාරණ අමතක කරති. එනම්, දෙවියන්වහන්සේගේ වචනයෙන් ඈත අතීතයේ පටන් අහස තිබූ බවත්, ජලය මඟින් ජලයෙන්ම පොළොව නිර්මාණ කරන ලද බවත්,</verse>
				<verse number="6">එකල පැවති ලෝකය ඒ ජලය මඟින්ම විනාශ කර දමන ලද බවත්,</verse>
				<verse number="7">එම දේව වචනයෙන්ම මේ වත්මන් අහස හා පොළොව ගිනිලනු පිණිස අවසන් විනිශ්චය දවස හා අභක්තික-දුෂ්ටයින්ගේ විනාශය දක්වා වෙන් කර තබා ඇති බවත් ය.</verse>
				<verse number="8">එහෙත් ප්‍රේමණීයයනි, මෙන්න මේක අමතක නො කරන්න; එනම් එක දවසක් ස්වාමින්වහන්සේට අවුරුදු දහසක් හා සමාන වගත්, අවුරුදු දහසක් එක දවසක් හා සමාන වගත් ය.</verse>
				<verse number="9">පමාවකැයි ඇතමකු වටහා ගෙන ඇති නමුදු, ස්වාමින්වහන්සේ උන්වහන්සේ පොරොන්දු වූ දේ ඉටු කිරීමට පමා නො වන සේක. කිසිවකුත් විනාශ නො වී, හැම කෙනෙක්ම පසුතැවිලි වීම අපේක්ෂා කරමින්, උන්වහන්සේ ඔබ ගැන ඉවසා බලා සිටින සේක.</verse>
				<verse number="10">එහෙත් ස්වාමින්වහන්සේගේ දවස සොරෙකු මෙන් පැමිණෙනු ඇත. එකල අහස ගර්ජනාත්මකව පහ වී යනු ඇත. ආකාශ වස්තු ද ගින්නෙන් දැවී විනාශ කෙරේ. පොළොව ද එහි ඇති සියල්ල ද දැවී යනු ඇත.</verse>
				<verse number="11">මේ මුළු විශ්වයම ඒ අයුරින් විනාශ කරන බැවින්, ඔබ කවර අන්දමේ පුද්ගලයින් විය යුතු වේ ද? ඔබ ශුද්ධවත්ව, දේව-භක්තිකව ජීවත් විය යුතු වන්නේ,</verse>
				<verse number="12">දෙවියන්වහන්සේගේ දවස ගැන මඟ බලා හිඳිමිනි; එය කඩිනම් වීමේ අපේක්ෂාවෙනි. ඒ දවසේ අහස ගින්නෙන් දැවී විනාශ වී යන්නේ ය. ආකාශ වස්තූන් ද තාපයෙන් දියවී යනු ඇත.</verse>
				<verse number="13">එහෙත් උන්වහන්සේගේ පොරොන්දුව පරිදි ධර්මිෂ්ඨකම වාසය කරන අලුත් අහසක් ද අලුත් පොළොවක් ද ගැන බලාපොරොත්තුවෙන් අපි මඟ බලා හිඳින්නෙමු.</verse>
				<verse number="14">ඒ සඳහා ඔබ මඟ බලා හිඳින බැවින් ප්‍රේමණීයයනි, දෙවියන්වහන්සේ ඉදිරියේ ඔබ කැළැල් රහිතව, දෝෂ රහිතව සාමයෙන් සිටිනු උන්වහන්සේට සම්බ වන පිණිස හැම පරිශ්‍රමයක්ම දරන්න.</verse>
				<verse number="15">අපගේ ප්‍රේමණීය සහෝදර පාවුල් ඔහුට දී ඇති ප්‍රඥාවෙන් ඔබට ලියා ඇති පරිදි, අපගේ ස්වාමින්වහන්සේගේ ඉවසිල්ලේ අරුත ගැලවීම සැලැසීම බව සිත්හි තබාගන්න.</verse>
				<verse number="16">ඔහු තම ලිපි මඟින් මේ කරුණු ගැන පවසද්දී හැම ලිපියකම ලියන්නේ මේ දේම ය. වටහා ගැන්මට අපහසු ඇතැම් දෑ ඔහුගේ ලිපිවල අඩංගු වෙයි. නූගත්, චපල සිතැත්තෝ අනෙක් ශුද්ධ ලියවිලි මෙන්ම මේවා ද තමන්ගේ විනාශයට විකෘති කොට දක්වති.</verse>
				<verse number="17">එබැවින් ප්‍රේමණීයයනි, මේ ගැන කල්තියාම ඔබ දන්නා බැවින් නොපනත් මිනිසුන්ගේ වරදින් මුළාව නො යා, ඔබගේ ස්ථාවරත්වයෙන් ඇද නො වැටෙන්නට වගබලා ගන්න.</verse>
				<verse number="18">තවද අපගේ ස්වාමියාණන් ද ගැලවුම්කරුවාණන් ද වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහයේත්, දැනගැන්මෙත් වැඩි වර්ධනය වන්න. දැනුත්, සදහටත් උන්වහන්සේට තේජෝ මහිම වේවා! ආමෙන්.</verse>
			</chapter>
		</book>
		<book number="62">
			<chapter number="1">
				<verse number="1">පටන්ගැන්මේ සිට තිබූ, අප අසා ඇති, අපේ ඇස්වලින් අප දුටු, අප බැලූ, අපේ අත්වලින් අප ඇල්ලූ ජීවනයේ වචනයාණන් සම්බන්ධව ය.</verse>
				<verse number="2">එම ජීවනය පැහැදිලිව දක්වන ලදී; අපි එය දුටුවෙමු. එබැවින් අපි ඒ ගැන සාක්ෂි දෙමින්, පියාණන්වහන්සේ සමඟ සිටියා වූ, අපට දක්වනු ලැබූ සදාතනික ජීවනය ගැන ඔබට ප්‍රකාශ කරන්නෙමු.</verse>
				<verse number="3">අප ඇසූ, අප දුටු ඒ දෑ අප ඔබට ප්‍රකාශ කරන්නේ, ඔබත් අප සමඟ පංගුකාර වන පිණිස ය. අපේ පංගුකාරකම පියාණන්වහන්සේ සමඟ හා උන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ය.</verse>
				<verse number="4">අප මෙය ලියන්නේ අපගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ය.</verse>
				<verse number="5">උන්වහන්සේගෙන් අප ඇසූ, අප ඔබට ප්‍රකාශ කරන පණිවුඩය මෙයයි: දෙවියන්වහන්සේ ආලෝකය ය; කිසිම අන්ධකාරයක් උන්වහන්සේ තුළ නැත.</verse>
				<verse number="6">අප අන්ධකාරයේ ඇවිදිමින්, අපේ සහභාගිත්වය උන්වහන්සේ සමඟ ය කියනවා නම්, අප කියන්නේ බොරු ය; සත්‍යයෙහි පැවතීමක් ද නැත.</verse>
				<verse number="7">එහෙත් උන්වහන්සේ ආලෝකයේ සිටින්නා සේ, අපත් ආලෝකයේ හැසිරෙනවා නම්, එකිනෙකා සමඟ සහභාගිත්වයක් අපට ඇත. උන්වහන්සේගේ පුත්‍ර වූ යේසුස්වහන්සේගේ ලෙය, හැම පාපයකින් අප පවිත්‍ර කරයි.</verse>
				<verse number="8">අපට පව් නැතැයි අප කියනවා නම්, අපි අපම රවටා ගනිමු; සත්‍යය ද අප තුළ නැත.</verse>
				<verse number="9">අප, අපගේ පාප, පාපොච්චාරණ කරනවා නම්, අපගේ පාප කමා කරන්නටත්, අපගේ සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍ර කරන්නටත් උන්වහන්සේ විශ්වාසී ය; යුක්ති සහගත ය.</verse>
				<verse number="10">අප පව් කර නැතැයි අපි කියමු නම්, අපි උන්වහන්සේ බොරුකාරයකු කරමු; උන්වහන්සේගේ වචනය ද අප තුළ නැත.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">මා ප්‍රිය දරුවනි, මේවා මා ඔබට ලියන්නේ, ඔබ පව් නො කරන පිණිස ය. එහෙත් යමකු පව් කළොත්, ධර්මිෂ්ඨ වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නම් මැදහත්කාරයාණන් කෙනෙක් අප උදෙසා පියාණන්වහන්සේ වෙත සිටින සේක.</verse>
				<verse number="2">අපගේ පාප උදෙසා වන්දි මිලය ගෙවීමේ පූජාව උන්වහන්සේ ය. අප උදෙසා පමණක් නො වේ; මුළු ලෝකයාගේම පාප උදෙසා ය.</verse>
				<verse number="3">අප උන්වහන්සේ හැඳින ගැනීමට පැමිණ ඇති වග, අප දැනගන්නේ මෙයින් ය; එනම් අප උන්වහන්සේගේ ආඥා පිළිපදිනවා නම් ය.</verse>
				<verse number="4">යමකු, “මා උන්වහන්සේ හැඳින ගැනීමට පැමිණ තිබෙනවා ය” කියන නමුත් උන්වහන්සේගේ ආඥා පිළිපදින්නේ නැතිනම් ඔහු බොරුකාරයෙකි; සත්‍යය ද ඔහු තුළ නැත.</verse>
				<verse number="5">එහෙත් උන්වහන්සේගේ වචනය පිළිපදින යම් කෙනකු වේ ද, සැබවින් ම ඔහු තුළ දෙවියන්වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණ කෙරේ. අප උන්වහන්සේ තුළ සිටිනා වග සහතිකයෙන් දැනගන්නේ එලෙසිනි.</verse>
				<verse number="6">උන්වහන්සේ තුළ පැවත සිටිනවායැයි කියන කවුරු වුවත්, උන්වහන්සේ කළ ලෙසම පැවත සිටිය යුතු ය.</verse>
				<verse number="7">ප්‍රේමණීයයනි, මා ඔබට අලුත් ආඥාවක් ලියනවා නො වේ. මුල පටන්ම ඔබට තිබූ පැරණි ආඥාවකි. මෙම පැරණි ආඥාව ඔබ අසා ඇති වචනයයි.</verse>
				<verse number="8">අනෙක් අතට මා ඔබට ලියන්නේ උන්වහන්සේ තුළත්, ඔබ තුළත් සත්‍ය වූ අලුත් ආඥාවකි. මන්ද අන්ධකාරය පහ වී යයි; සත්‍ය ආලෝකය දැනටමත් බැබළෙමින් තිබේ.</verse>
				<verse number="9">තමා ආලෝකයේ සිටින්නේ ය කියමින්, තම සහෝදරයාට වෛර කරන කවුරු වුව ද තවමත් අන්ධකාරයේ සිටියි.</verse>
				<verse number="10">තම සහෝදරයාට ප්‍රේම කරන්නා ආලෝකයේ පවතියි. පැකිළෙන්නට කිසි හේතුවක් ඔහු තුළ නැත.</verse>
				<verse number="11">එහෙත් තම සහෝදරයාට වෛර කරන්නා සිටින්නේ අන්ධකාරයේ ය. ඔහු ගමන් කරන්නේ අන්ධකාරයේ ය. තමා කොහි යන්නේදැයි ඔහු නො දනී. මන්ද අන්ධකාරය, ඔහු අන්ධ කර ඇත.</verse>
				<verse number="12">මා ඔබට ලියන්නේ ප්‍රිය දරුවනි, උන්වහන්සේගේ නාමය නිසා, ඔබගේ පාප කමා කරනු ලැබ ඇති බැවිනි.</verse>
				<verse number="13">මා ඔබට ලියන්නේ පියවරුනි, ඔබ, මුල පටන් සිටින තැනැන්වහන්සේ හඳුනාගෙන සිටින බැවිනි. මා ඔබට ලියන්නේ තරුණයිනි, ඔබ, නපුරා පරදා, ජය ගෙන ඇති බැවිනි.</verse>
				<verse number="14">මා ඔබට ලියන්නේ ප්‍රිය දරුවනි, ඔබ, පියාණන්වහන්සේ හඳුනාගෙන සිටින බැවිනි. මා ඔබට ලියන්නේ පියවරුනි, ඔබ, මුල පටන් සිටින තැනැන්වහන්සේ හඳුනාගෙන සිටින බැවිනි. මා ඔබට ලියන්නේ තරුණයිනි, ඔබ ශක්තිමත් නිසාත්, දෙවියන්වහන්සේගේ වචනය ඔබ තුළ වාසය කරන නිසාත්, ඔබ, නපුරා පරදා, ජය ගෙන ඇති නිසාත් ය.</verse>
				<verse number="15">ලෝකයටවත්, ලෝකයේ කිසිවකටවත් ප්‍රේම නො කරන්න. යමෙක් ලෝකයට ප්‍රේම කරනවා නම්, පියාණන්වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ නැත.</verse>
				<verse number="16">මන්ද මාංසික තෘෂ්ණා, ඇස පිනවන ආශා හා තමන් සන්තක දෑ ගැන උඩඟුව යන දෑ පියාණන්වහන්සේගෙන් නො වේ; ලෝකයෙන් ය.</verse>
				<verse number="17">ලෝකය පහ වී යමින් තිබෙන්නේ, එහි තෘෂ්ණා ද සමඟ ය. එහෙත්, දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන කවුරු වුවත් සදහට ම පවතියි.</verse>
				<verse number="18">දරුවනි, මේ අවසාන පැයයි. ව්‍යාජ-ක්‍රිස්තුස් ගැන ඔබ අසා ඇති පරිදි, දැනටම ව්‍යාජ-ක්‍රිස්තුවරු බොහෝ දෙනෙක් පැමිණ සිටිති. මේ අවසන් පැය බව අප දන්නේ එනිසා ය.</verse>
				<verse number="19">ඔවුන් අප වෙතින් පිටත්ව ගොසින් ය, එහෙත් ඔවුන් අපේ අය නො වේ. ඔවුන් අපේ අය වූවා නම්, දිගටම අප සමඟ සිටිය යුතුව තිබිණි, එහෙත් ඔවුන් පිටත්ව ගොසිනි; ඔවුන් හැම අපේ අය නො වන වග එයින් පැහැදිලි ය.</verse>
				<verse number="20">එහෙත් ඔබ, ශුද්ධ තැනැන්වහන්සේගෙන් ආලේපය ලබා ඇත; ඔබ හැමට දැනගැන්ම ඇත.</verse>
				<verse number="21">මා ඔබට ලියන්නේ ඔබ සත්‍යය නො දන්නා නිසා නො වේ. ඔබ එය දන්නා නිසා ය. මන්ද සත්‍යයේ කිසි බොරුවක් නැත.</verse>
				<verse number="22">බොරුකාරයා කවුරු ද? යේසුස්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ ය යන්න ප්‍රතික්ෂේප කරන්නා ය. ව්‍යාජ-ක්‍රිස්තුස් මොහු ය; පියාණන්වහන්සේ ද පුත්‍රයාණන්වහන්සේ ද ප්‍රතික්ෂේප කරන්නා ය.</verse>
				<verse number="23">පුත්‍රයාණන් ප්‍රතික්ෂේප කරන කවරකුටවත් පියාණන්වහන්සේ ද නැත. පුත්‍රයාණන් පිළිගන්නා කවරකුට වුව ද, පියාණන්වහන්සේ ද ඇත.</verse>
				<verse number="24">මුල පටන් ඔබ ඇසූ දෑ ඔබ තුළ පවතීවා; මුල පටන් ඔබ ඇසූ දෑ ඔබ තුළ පවතිනවා නම්, එවිට ඔබ පුත්‍රයාණන්වහන්සේත්, පියාණන්වහන්සේත් තුළ පැවත සිටී.</verse>
				<verse number="25">උන්වහන්සේ අපට වූ පොරොන්දුව මෙයයි; එනම්, සදාතන ජීවනයයි.</verse>
				<verse number="26">මා මේ ඔබට ලියන්නේ, ඔබ රවටන්නට උත්සාහ කරන්නවුන් ගැනයි.</verse>
				<verse number="27">එහෙත් උන්වහන්සේගෙන් ඔබ ලැබූ ආලේපය ඔබ තුළ පැවත සිටී; එනිසා අන් කෙනකුගේ ඉගැන්වීමක් ඔබට අවශ්‍ය නැත. උන්වහන්සේගේ ඒ ආලේපය, හැම දෙයක් ගැනම ඔබට උගන්වන ලෙස, එය සත්‍යය ය; බොරුවක් නො වේ; එය ඔබට ඉගැන්වූ පරිදි උන්වහන්සේ තුළ පැවත සිටින්න.</verse>
				<verse number="28">දැන්, ප්‍රිය දරුවනි, උන්වහන්සේ තුළ පැවත සිටින්න, එවිට උන්වහන්සේ නැවත පෙනෙන්නට එන කල, අපට නිසැක විශ්වාසය තිබෙන පිණිසත්, උන්වහන්සේගේ පැමිණීමේදී උන්වහන්සේ ඉදිරියේ ලජ්ජාවට පත් නො වන පිණිසත් ය.</verse>
				<verse number="29">උන්වහන්සේ ධර්මිෂ්ඨ වග ඔබ දන්නවා නම්, ධර්මිෂ්ඨව ක්‍රියා කරන හැම කෙනෙක්ම උන්වහන්සේගෙන් ඉපිද සිටින වග ඔබට නිසැක වනු ඇත.</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">අප දෙවියන්වහන්සේගේ දරුවෝ යයි අමතනු ලබන්නට තරම් කෙතරම් විශිෂ්ට ප්‍රේමයක් පියාණන්වහන්සේ අපට දක්වා ඇද්දැයි බලන්න. අප දරුවන්ම ය! ලෝකයා අප නො හඳුනන්නේ, ඔවුන් දෙවියන්වහන්සේ නො හඳුනන බැවිනි.</verse>
				<verse number="2">ප්‍රේමණීයයනි, දැන් අප දෙවියන්වහන්සේගේ දරුවන් ය; අප කෙබඳු අය වේදැයි තවමත් ප්‍රකාශ වී නැත. එහෙත් උන්වහන්සේ ප්‍රකාශ වන කල, අපත් උන්වහන්සේ හා සමාන වන වග අපි දනිමු. මන්ද උන්වහන්සේ සිටින ලෙසම අපි උන්වහන්සේ දකින්නෙමු.</verse>
				<verse number="3">මෙලෙස බලාපොරොත්තු තබන හැම කෙනෙක්ම තමන් පවිත්‍ර කරගන්නේ, උන්වහන්සේ පවිත්‍රව සිටින පරිද්දෙනි.</verse>
				<verse number="4">පව් කරන සැවොම නොපනත්කම් කරති; පාපය යනු නොපනත්කම ය.</verse>
				<verse number="5">උන්වහන්සේ ප්‍රකාශ වුණේ පාපය දුරු කිරීමට ය; උන්වහන්සේ තුළ කිසි පාපයක් නැත.</verse>
				<verse number="6">උන්වහන්සේ තුළ පැවත සිටින කිසිවකු පව් කරන්නේ නැත. දිගටම පව් කරන කවරකු වුව උන්වහන්සේ දැකලාවත්, හැඳිනගෙනවත් නැත.</verse>
				<verse number="7">ප්‍රිය දරුවනි, කිසිවකු ඔබ නො රවටත්වා; උන්වහන්සේ ධර්මිෂ්ඨ සේ ම, ධර්මිෂ්ඨකම් කරන්නා ධර්මිෂ්ඨ ය.</verse>
				<verse number="8">පාප ක්‍රියා කරන්නා අයිති යක්ෂයාට ය. මන්ද යක්ෂයා පටන්ගැන්මේ සිටම පව්කරන්නෙකි. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශ වීමේ හේතුව, යක්ෂයාගේ ක්‍රියා විනාශ කිරීම ය.</verse>
				<verse number="9">දෙවියන්වහන්සේගෙන් ඉපිද සිටින කිසිවකු දිගටම පව් කරන්නේ නැත. මන්ද දෙවියන්වහන්සේගේ බීජය ඔහු තුළ පවතී; දෙවියන්වහන්සේගෙන්ම ඉපිද සිටින බැවින් පව් කිරීමට ඔහුට නුපුළුවන.</verse>
				<verse number="10">දෙවියන්වහන්සේගේ දරුවන් කවුරු ද, යක්ෂයාගේ දරුවන් කවුරු ද යන්න පැහැදිලිව පෙනෙන්නේ මෙයිනි. ධර්මිෂ්ඨකම් නො කරන්නා දෙවියන්වහන්සේගෙන් නො වේ; තම සහෝදරයාට ප්‍රේම නො කරන්නා ද එසේම ය.</verse>
				<verse number="11">මුල පටන් ඔබ ඇසූ පණිවුඩය, අප එකිනෙකාට ප්‍රේම කළ යුතුය යන්නයි.</verse>
				<verse number="12">නපුරාට අයත්ව, තම සහෝදරයා මැරූ කායින්ට අප සමාන විය යුතු නැත. ඔහු එසේ මරා දැමුවේ ඇයි? ඊට හේතුව ඔහුගේ ක්‍රියා දුෂ්ට වූ නිසාත්, ඔහුගේ සහෝදරයාගේ ක්‍රියා ධර්මිෂ්ඨ වූ නිසාත් ය.</verse>
				<verse number="13">සහෝදරයිනි, ලෝකයා ඔබට වෛර වන කල, පුදුම නො වන්න.</verse>
				<verse number="14">අප දන්නා පරිදි අපි මරණයෙන් එතෙරව ජීවනයට ඇතුල්ව සිටින්නෙමු; මන්ද අපි සහෝදරයනට ප්‍රේම කරන්නෙමු. ප්‍රේම නො කරන කවුරුන් වුව මරණයේ රැඳී සිටී.</verse>
				<verse number="15">තම සහෝදරයාට වෛර කරන්නා මිනී මරුවෙකි; කිසි මිනී මරුවකු තුළ සදාතන ජීවනය පැවත සිටින්නේ නැති බව ඔබ දනී.</verse>
				<verse number="16">අප ප්‍රේමය හැඳින ගන්නේ මෙයිනි; එනම්, උන්වහන්සේ අප උදෙසා සිය ජීවිතය දීම මඟිනි. අප ද අප සහෝදරයින් උදෙසා ජීවිතය දිය යුතුව ඇත.</verse>
				<verse number="17">ලෞකික ධනය හිමි කෙනෙක් තම සහෝදරයාගේ අග හිඟකම් දැක, ඔහු ගැන තම හදවත වසා ගනී නම්, දෙවියන්වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේ ද?</verse>
				<verse number="18">ප්‍රිය දරුවනි, වචනයෙන් හා කතාවෙන් නො ව ක්‍රියාවෙන් හා සත්‍යයෙන් ප්‍රේම කරමු.</verse>
				<verse number="19">අප සත්‍යයට අයත් බව දැනගන්නේත්, උන්වහන්සේ ඉදිරියේ අප හදවතේ සහතිකයක් ඇති කරගන්නේත් මෙලෙසිනි;</verse>
				<verse number="20">මන්ද අප හදවත් අපට දෝෂාරෝපණ කරන කවර විටෙක වුව, දෙවියන්වහන්සේ අප හදවත්වලට වඩා උතුම් ය; උන්වහන්සේ සියලු දේම දන්නා සේක.</verse>
				<verse number="21">ප්‍රේමණීයයනි, අප හදවත අපට දොස් පවරන්නේ නැතිනම්, දෙවියන්වහන්සේ ඉදිරියේ නිසැකකමක් අපට තිබේ.</verse>
				<verse number="22">එවිට අප ඉල්ලන කවර දෙයක් වුව උන්වහන්සේගෙන් අපට ලැබේ. මන්ද අප උන්වහන්සේගේ ආඥා පිළිපදින බැවින් හා උන්වහන්සේ ප්‍රිය මනාප දේ කරන බැවිනි.</verse>
				<verse number="23">මෙයයි උන්වහන්සේගේ ආඥාව: උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප අදහා ගැනීමත්, උන්වහන්සේ අපට අණ කළ පරිදි එකිනෙකාට ප්‍රේම කිරීමත් ය.</verse>
				<verse number="24">උන්වහන්සේගේ ආඥා පිළිපදින්නෝ, උන්වහන්සේ තුළ පැවත සිටිති. උන්වහන්සේ ද ඔවුන් තුළ පැවත සිටිති. උන්වහන්සේ අප තුළ පැවත සිටින බව අප දැනගන්නේ මෙයිනි; උන්වහන්සේම අපට දුන් ආත්මයාණන්වහන්සේ මඟිනි.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">ප්‍රේමණීයයනි, හැම ආත්මයක්ම විශ්වාස නො කරන්න. ඔවුන් දෙවියන්වහන්සේ වෙතින් ද යන වග පරීක්ෂා කර බලන්න. මන්ද බොරු දිවැසිවරුන් බොහෝ දෙනෙක් ලෝකයට ගොස් සිටිති.</verse>
				<verse number="2">දෙවියන්වහන්සේගේ ආත්මයාණන් ඔබ හැඳින ගන්නේ මෙලෙසිනි; යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, මාංසයෙන් පැමිණි වග පිළිගන්නා ආත්මය දෙවියන්වහන්සේගෙනි.</verse>
				<verse number="3">එහෙත් යේසුස්වහන්සේ නො පිළිගන්නා හැම ආත්මයක්ම දෙවියන්වහන්සේගෙන් නො වේ. පැමිණෙනු ඇතැයි ඔබ අසා ඇති, එහෙත් දැනටමත් ලෝකයේ සිටින ව්‍යාජ-ක්‍රිස්තුස්ගේ ආත්මය මෙයයි.</verse>
				<verse number="4">ප්‍රිය දරුවනි, ඔබ දෙවියන්වහන්සේගෙන් ය. ඔබ ඔවුන්ගෙන් ජය ගෙන තිබේ. මන්ද ලෝකයේ සිටින තැනැත්තාට වඩා ඔබ තුළ සිටින තැනැත්තාණන් උතුම් ය.</verse>
				<verse number="5">ඔවුහු ලෝකයෙන් ය; එබැවින් ඔවුන් කතා කරන්නේ ලෝකයට අනුව ය. ලෝකයා ද ඔවුන්ට සවන් දෙති.</verse>
				<verse number="6">අප දෙවියන්වහන්සේගෙන් ය, දෙවියන්වහන්සේ දන්නා අය අපට සවන් දෙති; එහෙත් දෙවියන්වහන්සේගෙන් නො වන අය අපට සවන් දෙන්නේ නැත. සත්‍යයේ ආත්මයාණන් හා අසත්‍යයේ ආත්මය කුමක්දැයි අප දැනගන්නේ මෙලෙසිනි.</verse>
				<verse number="7">ප්‍රේමණීයයනි, අපි, එකිනෙකාට ප්‍රේම කරමු; මන්ද ප්‍රේමය දෙවියන්වහන්සේගෙන් ය. ප්‍රේම කරන කවුරුන් වුව, දෙවියන්වහන්සේගෙන් ඉපිද සිටින්නෙකි; දෙවියන්වහන්සේ හඳුනන්නෙකි.</verse>
				<verse number="8">ප්‍රේම නො කරන කවුරුන් වුව, දෙවියන්වහන්සේ හඳුනන්නේ නැත. මන්ද දෙවියන්වහන්සේ ප්‍රේමය ය.</verse>
				<verse number="9">දෙවියන්වහන්සේගේ ප්‍රේමය අප අතරේ ප්‍රකාශ වූයේ මෙලෙසිනි: එනම් දෙවියන්වහන්සේ ස්වකීය එකම පුත්‍රයාණන් මෙලොවට එවීමෙනි. එසේ කළේ, උන්වහන්සේ මඟින් අප ජීවත් වන පිණිස ය.</verse>
				<verse number="10">ප්‍රේමය නම් මෙයයි: අප දෙවියන්වහන්සේට ප්‍රේම කළා නො ව, උන්වහන්සේ අපට ප්‍රේම කරමින්, අපගේ පාප උදෙසා වන්දි මිලය ගෙවීමේ පූජාව වශයෙන් ස්වකීය පුත්‍රයාණන් එවීම ය.</verse>
				<verse number="11">ප්‍රේමණීයයනි, දෙවියන්වහන්සේ අපට එතරම් ප්‍රේම කළ සේක් නම්, අපත් එකිනෙකාට ප්‍රේම කළ යුතුම ය.</verse>
				<verse number="12">කිසිවෙක් කිසි කලෙක දෙවියන්වහන්සේ දැක නැත. එහෙත් අප එකිනෙකාට ප්‍රේම කරනවා නම්, දෙවියන්වහන්සේ අප තුළ පැවත සිටින සේක; උන්වහන්සේගේ ප්‍රේමය ද අප තුළ පරිපූර්ණ කරනු ලැබ තිබේ.</verse>
				<verse number="13">අප උන්වහන්සේ තුළ ද උන්වහන්සේ අප තුළ ද පැවත සිටින වග අප දැනගන්නේ මෙයිනි; උන්වහන්සේ ස්වකීය ආත්මයාණන් අපට දී ඇති බැවිනි.</verse>
				<verse number="14">තවද පියාණන්වහන්සේ, ස්වකීය පුත්‍රයාණන් ලෝකයේ ගැලවුම්කරුවාණන් වීමට එවූ වග අපි දුටුවෙමු; ඊට සාක්ෂි දරන්නෙමු.</verse>
				<verse number="15">යේසුස්වහන්සේ, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බැව් පිළිගන්නා තුළ දෙවියන්වහන්සේ ද උන්වහන්සේ තුළ ඔහු ද පැවත සිටියි.</verse>
				<verse number="16">මෙසේ අපි, අප වෙත ඇති දෙවියන්වහන්සේගේ ප්‍රේමය දැනගැනීමට හා විශ්වාසයට පැමිණ ඇත්තෙමු. දෙවියන්වහන්සේ ප්‍රේමය ය. ප්‍රේමයේ පැවත සිටින්නා දෙවියන්වහන්සේ තුළ පැවත සිටියි; දෙවියන්වහන්සේ ඔහු තුළ පැවත සිටින සේක.</verse>
				<verse number="17">විනිශ්චය දවසට නිසැකව සිටිය හැකි වන පිණිස, මෙයින්, ප්‍රේමය අප අතර පරිපූර්ණ වෙයි, මන්ද මේ ලෝකය තුළ අපත්, උන්වහන්සේ වගේ ය.</verse>
				<verse number="18">ප්‍රේමය තුළ බයක් නැත. පරිපූර්ණ ප්‍රේමය බය පිටත හෙළයි. බය ඇති වන්නේ දඬුවම සම්බන්ධව ය; බයවන තැනැත්තා ප්‍රේමය තුළ සම්පූර්ණ කරනු ලැබ නැත.</verse>
				<verse number="19">අප ප්‍රේම කරන්නේ, පළමු කොට උන්වහන්සේ අපට ප්‍රේම කළ නිසා ය.</verse>
				<verse number="20">යමෙක්, “මම දෙවියන්වහන්සේට ප්‍රේම කරමි” යි කියමින්, තම සහෝදරයාට වෛර කරනවා නම්, ඔහු බොරුකාරයෙකි. මන්ද තමන් දැක ඇති සහෝදරයාට ප්‍රේම නො කරන්නාට, තමන් දැක නැති දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමට බැරි ය.</verse>
				<verse number="21">උන්වහන්සේගෙන් අපට ආඥාව මෙයයි: දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නා තම සහෝදරයාට ද ප්‍රේම කළ යුතු ය.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">යේසුස්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ යයි විශ්වාස කරන කවුරුන් වුව, දෙවියන්වහන්සේගෙන් උපත ලබා සිටියි. පියාණන්වහන්සේට ප්‍රේම කරන හැම කෙනෙක්ම, උන්වහන්සේගෙන් උපත ලැබූවන්ට ප්‍රේම කරති.</verse>
				<verse number="2">දෙවියන්වහන්සේගේ දරුවනට අප ප්‍රේම කරන වග අප දැනගන්නේ මෙයිනි: දෙවියන්වහන්සේට ප්‍රේම කරමින්, උන්වහන්සේගේ ආඥාවලට කීකරු වීමෙනි.</verse>
				<verse number="3">දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම මෙයයි: එනම් උන්වහන්සේගේ ආඥා රක්ෂා කිරීමයි. උන්වහන්සේගේ ආඥා බර නැත.</verse>
				<verse number="4">මන්ද දෙවියන්වහන්සේගෙන් උපත ලැබූ හැම කෙනකුම ලෝකයෙන් ජය ගනී. ලෝකයෙන් ජය ගන්න ජයග්‍රහණය, අපගේ ඇදහිල්ලයි.</verse>
				<verse number="5">යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බව විශ්වාස කරන්නා මිස ලෝකය ජය ගන්නේ කවුරු ද?</verse>
				<verse number="6">වතුරින් හා ලෙයින් පැමිණි තැනැත්තාණෝ මොහු ය; යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ය. වතුරින් පමණක් නො වේ; වතුර හා ලෙයින් ය. සාක්ෂි දරන්නේ ආත්මයාණන්වහන්සේ ය. මන්ද ආත්මයාණන්වහන්සේ සත්‍යතාවය ය.</verse>
				<verse number="7">මන්ද සාක්ෂි දරන සාක්ෂි තුනකි:</verse>
				<verse number="8">ආත්මයාණන් ය, වතුර ය, ලෙය ය; මෙම සාක්ෂි තුනම එකඟ ය.</verse>
				<verse number="9">මිනිසුන්ගේ සාක්ෂි අප පිළිගන්නවා නම්, දෙවියන්වහන්සේගේ සාක්ෂිය වඩා උතුම් ය. මන්ද ස්වකීය පුත්‍රයාණන් ගැන දෙවියන්වහන්සේ දැරූ උන්වහන්සේගේ සාක්ෂිය මෙය ය.</verse>
				<verse number="10">දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් විශ්වාස කරන කවරකු තුළ වුව, මෙම සාක්ෂිය තිබේ. දෙවියන්වහන්සේ විශ්වාස නො කරන කවරෙක් වුව, උන්වහන්සේ බොරුකරුවෙකැයි ගණන් ගනී; මන්ද ස්වකීය පුත්‍රයාණන් ගැන දෙවියන්වහන්සේ දී ඇති සාක්ෂිය ඔහු විශ්වාස නො කළ බැවිනි.</verse>
				<verse number="11">ඒ සාක්ෂිය මෙයයි: දෙවියන්වහන්සේ අපට සදාතන ජීවනය දුන් බවයි; ඒ ජීවනය උන්වහන්සේගේ පුත්‍රයාණන් තුළ තිබෙන බවයි.</verse>
				<verse number="12">පුත්‍රයාණන් ඇත්තාට ජීවනය ඇත. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් නැත්තාට ජීවනය නැත.</verse>
				<verse number="13">දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ නාමය විශ්වාස කරන ඔබට මා මේ දෑ ලියන්නේ, ඔබට සදාතන ජීවනය තිබෙන බව ඔබ දැනගන්නා පිණිස ය.</verse>
				<verse number="14">උන්වහන්සේ ඉදිරියේ අපට ඇති සහතිකය මෙයයි: උන්වහන්සේගේ කැමැත්තට අනුව අප යමක් ඉල්ලන කල, උන්වහන්සේ ඊට සවන් දෙන බවයි.</verse>
				<verse number="15">අප ඉල්ලන කවර දෙයකට වුව උන්වහන්සේ අපට සවන් දෙන වග අප දන්නවා නම්, උන්වහන්සේගෙන් අප ඉල්ලූ ඉල්ලීම අපට ලැබෙන බව අපි දනිමු.</verse>
				<verse number="16">තම සහෝදරයා මරණීය නො වන පාපයක් කරන බව යමෙක් දුටුවහොත්, ඔහු යාච්ඤා කළ යුතු ය. එවිට උන්වහන්සේ ඔහු ජීවනයට පමුණුවන සේක. ඒ, මරණයට නො පමුණුවන පවක් කරන්නකුට ය. මරණයට පමුණුවන්නා වූ පාපයක් ද ඇත. ඒ සඳහා යමකු යාච්ඤා කළ යුතු යයි මා කියන්නේ නැත.</verse>
				<verse number="17">හැම වැරදි කිරීමක්ම පාපයකි. එහෙත් මරණයට නො පමුණුවන පාප වේ.</verse>
				<verse number="18">දෙවියන්වහන්සේගෙන් උපන් හැම කෙනකුම දිගින් දිගට පව් නො කරන වග අපි දනිමු. දෙවියන්වහන්සේගෙන් උපන් තැනැත්තාණෝ ඔහු සුරකින සේක; ඔහුට අත ගැසීමට නපුරාට නුපුළුවන.</verse>
				<verse number="19">අප දෙවියන්වහන්සේගෙන් බවත්, මුළු ලෝකයම නපුරාගේ අණසක යටතේ බවත් අපි දනිමු.</verse>
				<verse number="20">තවද අප සත්‍යය වූ තැනැන්වහන්සේ දැනගන්නා පිණිස, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් මෙලොවට පැමිණ, අපට අවබෝධය දුන් වග ද අපි දනිමු. අප, සත්‍ය වූ තැනැන්වහන්සේ තුළ ය; උන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ය; සත්‍ය වූ දෙවියන්වහන්සේ ද සදාතනික ජීවනය ද උන්වහන්සේ ය.</verse>
				<verse number="21">ප්‍රිය දරුවනි, පිළිම රූපවලින් දුරුව සිටින්න.</verse>
			</chapter>
		</book>
		<book number="63">
			<chapter number="1">
				<verse number="1">සභා-මූලිකයා වෙතිනි, සත්‍යතාවෙහි මා ප්‍රේම කරන, දෙවියන්වහන්සේ විසින් තෝරා ගන්නා ලද ස්වාමිදුවට හා ඇගේ දරුවන් වෙත, මා පමණක් නො ව, සත්‍යය දන්නා හැම දෙනාම ඔබට ප්‍රේම කරන්නේ,</verse>
				<verse number="2">අප තුළ පවතින, සදහට අප සමඟ සිටින සත්‍යතාව නිසා ය.</verse>
				<verse number="3">පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේගෙන් හා ඒ පියාණන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් අනුග්‍රහයත්, දයාවත්, සාමයත් සත්‍යයෙන් හා ප්‍රේමයෙන් යුතුව අප සමඟ වන්නේ ය.</verse>
				<verse number="4">පියාණන්වහන්සේ අපට අණ කළ පරිද්දෙන්, ඔබේ දරුවන් ඇතැම් දෙනකු සත්‍යතාවෙහි පවතිනු දැකීම මට මහත් ප්‍රීතියකි.</verse>
				<verse number="5">ප්‍රිය ස්වාමිදුවණියනි, මෙහිදී මා ඔබට අලුත් ආඥාවක් ලියනවා නො වේ. මුල පටන් අපට තිබූ ආඥාව ලෙස එකිනෙකාට ප්‍රේම කරමුයි ඉල්ලමි.</verse>
				<verse number="6">ප්‍රේමය මෙයයි: දෙවියන්වහන්සේගේ ආඥාවනට අනුව පැවත සිටීමයි. මුල පටන් ඔබ අසා ඇති පරිදි උන්වහන්සේගේ ආඥාව, ඔබ එහි පැවත සිටීමයි.</verse>
				<verse number="7">යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් යුතුව පැමිණීම නො පිළිගන්නා රැවටිලිකරුවන් බොහෝ දෙනෙක් ලෝකයට පිටත්ව ගොස් සිටිති. රැවටිලිකරුවා ද ව්‍යාජ-ක්‍රිස්තුස් ද මෙවැනි අය ය.</verse>
				<verse number="8">අප ඉටු කළ වැඩ අපතේ නො යවා, ඒ සඳහා සම්පූර්ණ ත්‍යාගය ඔබ ලබන පිණිස පරෙස්සම් වන්න.</verse>
				<verse number="9">ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීමෙහි නො පැවත, ඉන් එහාට යන කිසිවකු සමඟ දෙවියන්වහන්සේ නැත. ඒ ඉගැන්වීමෙහි පැවත සිටින්නාට පියාණෝ ද පුත්‍රයාණෝ ද සිටින්නාහ.</verse>
				<verse number="10">ඔබ වෙත එන කවුරුන් වුව ද, මෙම ඉගැන්වීම ගෙන එන්නේ නැතිනම්, ඔබේ ගෙදරට ඒ අය නො පිළිගන්න; ආචාර නො කරන්න.</verse>
				<verse number="11">මන්ද ඒ අයට අචාරකරන්නා ද ඒ අයගේ දුෂ්ටකමට පංගුකාර වන බැවිනි.</verse>
				<verse number="12">ඔබට ලියන්නට මට බොහෝ දේ ඇතත්, කඩදාසියෙන් හා තීන්තෙන් දන්වනවාට වඩා, අපගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස, ඔබ වෙත පැමිණ, ඔබ හා මුහුණට මුහුණ ලා, කතා කරන්නට බලාපොරොත්තු වෙමි.</verse>
				<verse number="13">තෝරාගනු ලැබූ ඔබේ සහෝදරියගේ දරුවෝ ඔබට ආචාර කරති.</verse>
			</chapter>
		</book>
		<book number="64">
			<chapter number="1">
				<verse number="1">සභා-මූලිකයා වෙතින්, සත්‍යතාවෙහි මා ප්‍රේම කරන ප්‍රේමණීය ගායස් වෙත;</verse>
				<verse number="2">ප්‍රේමණීයය, ඔබ ආත්මයෙන් සඵලව සිටින අයුරින්, අන් සියල්ලේදීත් සඵල වන ලෙස හා ඔබ නිරෝගී සුවයෙන් සිටින ලෙස, මම යාච්ඤා කරමි.</verse>
				<verse number="3">මන්ද ඔබගේ විශ්වාසවන්තකම හා සත්‍යයෙහි ඔබ පවතින අයුරු ගැන මෙහි පැමිණි සහෝදරයින්ගෙන් අසන්නට ලැබීම මට මහත් ප්‍රීතියකි.</verse>
				<verse number="4">මාගේ දරුවන් සත්‍යයෙහි පැවත සිටින වග ඇසීමට වඩා මහා ප්‍රීතියක් මට නැත.</verse>
				<verse number="5">ප්‍රේමණීයය, ඔබට මේ සහෝදරයින් අමුත්තන් වුව ද, ඔවුන් උදෙසා ඔබ කරන සියලු දෑ විශ්වාසනීය ය.</verse>
				<verse number="6">ඔබගේ ප්‍රේමය ගැන ඔවුහු සභාව ඉදිරියේ සාක්ෂි දැරූහ. දෙවියන්වහන්සේට ඔබින පරිද්දෙන්, ඔබ ඔවුන්ගේ ගමනට උපකාර කරන්නේ නම් යහපති.</verse>
				<verse number="7">මන්ද අන්‍ය-ජාතීන්ගෙන් කිසිවක් නො පිළිගනිමින් ඔවුන් පිටත්ව ගියේ, (උන්වහන්සේගේ) නාමය උදෙසා ය.</verse>
				<verse number="8">එබැවින් සත්‍යය උදෙසා හවුල් වැඩකරුවන් වන පිණිස, එබඳු අයට අප උපකාර කළ යුතුම ය.</verse>
				<verse number="9">මා සභාවට ලියා යැවූ නමුදු මූලිකයා වීමට කැමති දියෝත්‍රපස් අප නො පිළිගනී.</verse>
				<verse number="10">එබැවින් මා පැමිණියහොත්, අපට එරෙහිව ඔහු නගන නපුරු කතා එළි කරන්නෙමි. ඔහු එයින් ද නො සෑහී සහෝදරයින් පිළිගැනීම ද ප්‍රතික්ෂේප කරයි; එසේ පිළිගන්නට කැමති වූවන් ද වළකමින් ඔවුන් සභාවෙන් නෙරපා හරියි.</verse>
				<verse number="11">ප්‍රේමණීයය, නොහොඳ අනුගමන නො කර, හොඳ දෑ අනුගමන කරන්න. හොඳ කරන්නා දෙවියන්වහන්සේගෙනි. නපුර කරන කවරකු වුව ද දෙවියන්වහන්සේ දැක නැත.</verse>
				<verse number="12">දෙමිත්‍රියස් ගැන සැවොම හොඳ කියති. සත්‍යය පවා එය සනාථ කරයි. අපත්, අපගේ සාක්ෂිය ඊට එකතු කරන්නෙමු. අපගේ සාක්ෂිය සත්‍ය වග ඔබ දනී.</verse>
				<verse number="13">ඔබට ලියන්නට බොහෝ දේ මට තිබේ. එහෙත් පෑනෙන් හා තීන්තෙන් එය කරන්නට නො කැමැත්තෙමි.</verse>
				<verse number="14">ඉතා ඉක්මනින් ඔබ හමුවට ඒමට බලාපොරොත්තු වෙමි. එවිට මුහුණට මුහුණ ලා කතා කරන්නට හැකි වෙයි.</verse>
				<verse number="15">ඔබට සාමය වේවා! මෙහි සිටින මිතුරෝ ඔබට ආචාර කරති. නම් වශයෙන් මිතුරන් හැම කෙනකුටම ආචාර කරන්න.</verse>
			</chapter>
		</book>
		<book number="65">
			<chapter number="1">
				<verse number="1">යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයකු ද යාකොබ්ගේ සොහොයුරා ද වන යූද් වෙතිනි; පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේ තුළ ප්‍රේමණීයයන් වීමට හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උදෙසා සුරක්ෂිතව තැබීමට කැඳවුම් ලද්දවුන් වෙතයි.</verse>
				<verse number="2">දයාව, සාමය හා ප්‍රේමය වැඩි-වැඩියෙන් ඔබට අත් වේවා!</verse>
				<verse number="3">ප්‍රේමණීයයනි, අප පංගුකාරව සිටින ගැලවීම පිළිබඳව ඔබට ලියා එවන්නට ලොකු ඕනෑකමක් තිබුණ ද, එක් වරක්ම ශුද්ධවතුනට බාර දෙන ලද ඇදහිල්ල සඳහා සටන් වදින ලෙස ඉල්ලමින් ඔබට ලිවීම අවශ්‍යමැයි මට හැඟිණ.</verse>
				<verse number="4">මන්ද ඈත අතීතයේදී, මේ දඬුවමට නියම කරනු ලැබූ ඇතැම් දෙනෙක් හොර රහසේ ඔබ අතරට රිංගාගෙන සිටින බැවිනි. අභක්තිකයින් වූ ඔවුහු අපගේ දෙවියන්වහන්සේගේ අනුග්‍රහය, දුරාචාරය සඳහා වූ බලපත්‍රයකට හරවාගෙන, අපගේ එකම ස්වාමියාණන් ද පරමාධිපතියාණන් ද වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රතික්ෂේප කරති.</verse>
				<verse number="5">ඔබ මෙය මුළුමනින් දැන සිටියත්, මේවා ඔබට මතක් කර දෙන්නට කැමැත්තෙමි; එක් වරක් ස්වාමින්වහන්සේ ජනතාවක් ඊජිප්තු දේශයෙන් මුදා, විශ්වාස නො කළවුන් පසුව විනාශ කර දැමූ වග</verse>
				<verse number="6">හා තමන් ලත් අධිපති නිලයේ නො පැවත, තමන්ට නියමිත නිවහන් අත්හළ දේව දූතයින්, ඒ මහා දවසේ විනිශ්චය සඳහා සදාතන බැඳුමින් බඳිනු ලැබ, අන්ධකාරය යට උන්වහන්සේ විසින් රඳවා තබා ඇති වග ය.</verse>
				<verse number="7">එලෙසම, සොදොම හා ගොමොරාව හා ඒ අවට නගර ලිංගික දුරාචාරයටත්, විකෘති තෘෂ්ණාවනටත් තමන්ම පාවා දී, සදාතන ගින්නේ දඬුවම විඳිමින් ආදර්ශයක් වී සිටිති.</verse>
				<verse number="8">එලෙස මොවුහු ද තමන්ගේ සිහිනවල එල්බගෙන, මාංසය දූෂ්‍ය කර ගනිති; ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරති; ශ්‍රේෂ්ඨයින්ට එරෙහිව නින්දා අපහාස කරති.</verse>
				<verse number="9">එහෙත් අග්‍ර දේව දූත මිකායෙල් පවා මෝස‍ෙස්ගේ මිනිය ගැන යක්ෂයා සමඟ වූ ආරවුලේදී වාද කරන විට, අපහාසාත්මකව චෝදනා කරන්නට එඩිතර නො වී, “ස්වාමින්වහන්සේ නුඹට තරවටු කරන සේකැ” යි කීවේ ය.</verse>
				<verse number="10">එහෙත් මොවුහු තමනට නො වැටහෙන හැම දේට අපහාස කරති. සිහිමොලේ නැති තිරිසනුන්ට මෙන් සහජයෙන් ඔවුනට වැටහෙන දෑවලින් ඔවුන් විනාශ කර දැමේ.</verse>
				<verse number="11">ඔවුන්ට වන විපතක මහත! මන්ද කායින්ගේ මාර්ගයේ ගමන් ගන්නා ඔවුහු, වාසියට ගිජුව බාලාම්ගේ වරදේ අතරමංව, කෝරාගේ කැරැල්ලේදී විනාශ වූහ.</verse>
				<verse number="12">මොවුහු ඔබගේ ප්‍රේම මංගල්‍යවල ලප කැළැල් ය; බය නැතිව ඔබ සමඟ අහර බුදින මොවුහු තමන් පමණක් පෝෂ්‍ය කරගන්නා එඬේරු ය. සුළඟට ගසාගෙන යන ජලය නැති වලාකුළු ය; දෙවරක් මැරුණු, මුලිනුදුරා දමනු ලැබූ, පල වාරයේ පල නො දැරූ ගස් ය.</verse>
				<verse number="13">තම නිර්ලජ්ජිත පෙණ නංවන මුහුදේ සැඩ රැළි ය. මංමුළා වූ තාරකා ය. ඝන අන්ධකාරයේ කළුවර සදහට ම ඔවුන්ට වෙන් කර ඇත.</verse>
				<verse number="14">ආදම්ගෙන් පටන් හත්වැන්නා වූ ඒනොක්, මොවුන් ගැන දිවැසි වැකියෙන් මෙසේ කියා තිබේ: “අන්න! දස දහස් ගණන් තම ශුද්ධවතුන් සමඟ ස්වාමින්වහන්සේ එන්නේ,</verse>
				<verse number="15">සියල්ලන්ටම විනිශ්චය තීන්දු කිරීමටත්, සියල්ලන්, ඒ සා අභක්තික මාර්ගවලින් කරන ලද සියලු අභක්තික ක්‍රියා ගැන හා උන්වහන්සේට එරෙහිව අභක්තික පව්කරුවන් පවසන ලද සියලු රළු කියුම් ගැන ඔවුන් වරදකරුවන් කිරීමටත් ය.”</verse>
				<verse number="16">මොවුහු මැසිවිලි නගන්නෝ ය; කොඳුරන්නෝ ය; තමන්ගේ දුෂ්ට තෘෂ්ණා අනුව යන්නෝ ය; මොවුහු තම වාසිය තකා පක්ෂවාදී, වාචාල පුරසාරම්කරුවෝ ය.</verse>
				<verse number="17">එහෙත් ප්‍රේමණීයයනි, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ අපෝස්තුලුවරුන් කලින් කියන ලද වචන සිහි කරන්න.</verse>
				<verse number="18">ඔවුන් ඔබට පැවසුවේ, “තමන්ගේ අභක්තික තෘෂ්ණා අනුව යන ගරහන්නන් අවසන් දවස්හි පැමිණෙනු ඇත” කියා ය.</verse>
				<verse number="19">බෙදුම් ඇති කරන්නේ ජම්මික මනසින් යුතු වූ, ආත්මයාණන්ගෙන් තොර වූ මොවුහුම ය.</verse>
				<verse number="20">එහෙත් ප්‍රේමණීයයනි ඔබ, ඔබගේ අතිශුද්ධ වූ ඇදහිල්ල තුළ ඔබම වර්ධනය කරගන්න; ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ යාච්ඤා කරන්න.</verse>
				<verse number="21">සදාතන ජීවනයට ඔබ ගෙන යන යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දයාව බලා හිඳිමින් දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙහි ඔබම පැවත සිටින්න.</verse>
				<verse number="22">සැක ශංකා ඇත්තවුනට අනුකම්පා කරන්න.</verse>
				<verse number="23">ගින්නෙන් ඉවතට ඇද අන්‍යයන් ගලවන්න. මාංසයෙන් කැළැල් වූ ඇඳුමට පවා ද්වේෂ කරමින්, බයින් යුතුව අන් අයට දයාව පාන්න.</verse>
				<verse number="24">පැකිළීමෙන් ඔබ වළකාගන්නටත්, මහා ප්‍රීතියකින් ස්වකීය තේජවත් අභිමුඛයට දෝෂ රහිතව ඔබ පමුණුවන්නටත් සමත් තැනැන්වහන්සේට,</verse>
				<verse number="25">අප ගැලවුම්කාර එකම දෙවියන්වහන්සේට, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මඟින් තේජෝමහිමයත්, පරාක්‍රමයත්, බලයත්, ආධිපත්‍යයත් සියලු කාලවලට පෙරත්, දැනුත්, සදහටත් වේවා! ආමෙන්.</verse>
			</chapter>
		</book>
		<book number="66">
			<chapter number="1">
				<verse number="1">මෙය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරවුව ය. උන්වහන්සේට මෙය දෙනු ලැබ ඇත්තේ, ඉක්මනින් සිදු විය යුතු දෑ ස්වකීය මෙහෙකරුවන්ට පෙන්වන පිණිස, දෙවියන්වහන්සේ විසිනි. උන්වහන්සේ තම දූතයා එවීමෙන්, තම මෙහෙකරු යොහන්ට එය දැනගන්නට සැලසූ සේක.</verse>
				<verse number="2">ඔහු දෙවියන්වහන්සේගේ වචනයත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂියත්, තමා දුටු සියල්ලත් ගැන සාක්ෂි දැරී ය.</verse>
				<verse number="3">මෙම දිවැස්වැකියේ වචන හඬ නගා කියවන්නා භාග්‍යවත් ය. එය අසන්නන් ද එහි ලියනු ලැබ ඇති දෑ රක්ෂා කරන්නන් ද භාග්‍යවත් ය. මන්ද කාලය ආසන්න ය.</verse>
				<verse number="4">යොහන් වෙතින්, ආසියාවේ සභා හත වෙතයි: ඔබට අනුග්‍රහයත්, සාමයත් සිටින්නා වූ, සිටියා වූ, මතු ද සිටින්නා වූ තැනැන්වහන්සේගෙන් ද උන්වහන්සේගේ සිංහාසනය අබියස සිටින ආත්මයාණන් සත් දෙනාගෙන් ද</verse>
				<verse number="5">විශ්වාසී සාක්ෂිකරුවාණන්, මළවුන්ගෙන් නැගිටි කුලුඳුලාණන් හා පොළොවේ රජුන්ගේ පාලකයාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් ද අත් වේවා! අපට ප්‍රේම කරන, ස්වකීය ලෙයින් අපගේ පවින් අප මිදූ,</verse>
				<verse number="6">ස්වකීය දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේට රාජ්‍යයක් ද පූජකයින් ද බවට අප පත් කළ, තැනැන්වහන්සේට සදහට ම, සදාතනයට ම තේජෝමහිමයත්, ආධිපත්‍යයත් වේවා! ආමෙන්.</verse>
				<verse number="7">“අන්න! උන්වහන්සේ වලාකුළුවලින් එන සේක.” “උන්වහන්සේව සිදුරු කළ අය පවා හැම ඇසක්ම, උන්වහන්සේ දකිනු ඇත.” මිහි පිට සියලු ගෝත්‍ර “උන්වහන්සේ නිසා වැලපෙනු ඇත.” ඒ එසේම වේවා! ආමෙන්.</verse>
				<verse number="8">“මම, අල්ෆා සහ ඔමෙගා වෙමි, සිටින්නා වූ සිටියා වූ, මතු ද සිටින්නා වූ සර්ව පරාක්‍රමයාණන්වහන්සේ යැ” යි ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ කියන සේක.</verse>
				<verse number="9">යේසුස්වහන්සේ තුළ පීඩා විඳීමේ ද රාජ්‍යයේ ද ඉවසා දරා ගැනීමේ ද ඔබගේ සහෝදරයා හා හවුල්කරුවා වන යොහන් නම් මම, දෙවියන්වහන්සේගේ වචනය නිසාත්, යේසුස්වහන්සේගේ සාක්ෂිය නිසාත් පත්මොස් නැමති දිවයිනේ සිටියෙමි.</verse>
				<verse number="10">ස්වාමින්වහන්සේගේ දවසේ මම ආත්මයාණන්වහන්සේ තුළ වීමි. එවිට හොරණෑ හඬක් වැනි උස් කටහඬක් මට පිටුපසින්, ඇසිණි.</verse>
				<verse number="11">“ඔබ දකින දෑ පොතක ලියා, එය එපීසය, ස්මර්ණා, පර්ගමම්, තියාතිරා, සර්දිස්, පිලදෙල්පියා හා ලවොදීසියා යන සභා හතට යවන්නැ” යි ඉන් කියැවිණි.</verse>
				<verse number="12">මට කතා කළ කටහඬ කිමෙක්දැයි බලන්නට මම හැරුණෙමි. එසේ හැරුණු කල, රන් පහන් රුක් හතක්</verse>
				<verse number="13">හා ඒ පහන් රුක් මැද මනුෂ්‍ය පුත්‍රයකු වැනි කෙනකු, ස්වකීය පාද දක්වා දිගු ලෝගුවක් හැඳ, ළය වටා රන් පටියක් බැඳ සිටිනු දුටිමි.</verse>
				<verse number="14">උන්වහන්සේගේ හිසේ කෙස්, සුදු ලෝම බඳුව හිම මෙන් සුදු ය. උන්වහන්සේගේ ඇස් ගිනි දළු වගේ ය.</verse>
				<verse number="15">උන්වහන්සේගේ පාද උඳුනක ගිනියම්ව දිළිසෙන පිත්තල වැනි විය. උන්වහන්සේගේ කටහඬ මහ ජල ඝෝෂාවක් වැන්න.</verse>
				<verse number="16">උන්වහන්සේගේ දකුණු අතේ, උන්වහන්සේ තාරකා හතක් දරා සිටි අතර, උන්වහන්සේගේ මුවින් තියුණු දෙමුවහත් කඩුවක් නික්මිණි. උන්වහන්සේගේ මුහුණ පරම කාන්තියෙන් බබළන හිරු මෙන් විය.</verse>
				<verse number="17">උන්වහන්සේ දුටු විට මම මළාක් මෙන්, උන්වහන්සේගේ පාමුල වැටුණෙමි. එවිට උන්වහන්සේ තම දකුණු අත මා පිට තබා, මෙසේ පැවසූ සේක: “බය වන්න එපා. පළමුවැන්නාත්, අන්තිමයාත් මමයි.</verse>
				<verse number="18">ජීවමාන තැනැත්තාණන් මමයි; මම මැරුණෙමි, එහෙත් මෙන්න, මම සදහට ම ජීවත්ව සිටිමි! තවද මරණයේ හා පාතාලයේ යතුරු ඇත්තේ මා ළඟයි.</verse>
				<verse number="19">“එබැවින් ඔබ දුටු දෑ ද දැන් ඇති දෑ ද මීට පසු සිදුවන දෑ ද ලියන්න.</verse>
				<verse number="20">මගේ දකුණු අතේ ඔබ දුටු තාරකා හතේ හා රන් පහන් රුක් හතේ අබිරහසේ අරුත මෙයයි. තාරකා හත, සභා හතේ දේව දූතයින් ය. පහන් රුක් හත, සභා හත ය.</verse>
			</chapter>
			<chapter number="2">
				<verse number="1">“එපීසය සභාවේ දේව දූතයාට මෙසේ ලියන්න: “තාරකා හත තම දකුණු අතේ දරන, රන් පහන් රුක් හත මැද සක්මන් කරන තැනැත්තාණන්ගේ වචන මෙසේ ය:</verse>
				<verse number="2">“ඔබේ ක්‍රියා ද ඔබේ වෙහෙස මහන්සිය ද ඔබේ ඉවසා දරා ගැනීම ද ඔබ නපුරන් නුරුස්නා බැව් ද අපෝස්තුලුවරුන් නො වන නමුදු තමන් අපෝස්තුලුවරුන්ය කියාගන්නවුන් පරීක්ෂා කර, ඔවුන් බොරුකරුවන් වග දැනගත් බැව් ද මම දනිමි.</verse>
				<verse number="3">ඔබ මාගේ නාමය උදෙසා ඉවසීමෙන් යුතුව දරා, උසුලා, එහෙත් විඩාවට පත් නො වූ බැව් ද දනිමි.</verse>
				<verse number="4">“එහෙත් ඔබගේ පළමු ප්‍රේමය ඔබ අත්හැර ඇත යන චෝදනාව ඔබට එරෙහිව මට ඇත:</verse>
				<verse number="5">එබැවින්, ඔබ වැටී සිටින්නේ කොතැනක සිටදැයි සිහි කරන්න; පසුතැවිලි වී, ඔබ මුලින් කළ වැඩ කරන්න. එසේ නො කර, පසුතැවිලි නොවෙතොත් මම ඔබ වෙත අවුත්, ඔබේ පහන් රුක පිහිටි තැනින් ඉවත් කරන්නෙමි.</verse>
				<verse number="6">එහෙත් මා ද්වේෂ කරන නිකොලයිතන්වාදීන්ගේ ක්‍රියාකාරකම්වලට ඔබත් ද්වේෂ කිරීම ඔබට තිබේ.</verse>
				<verse number="7">“ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තා අසත්වා! ජයගන්නාට, දෙවියන්වහන්සේගේ පාරාදීසයේ ඇති ජීවන වෘක්ෂයෙන් කන්නට වර දෙන්නෙමි.</verse>
				<verse number="8">“ස්මර්ණා සභාවේ දේව දූතයාට මෙසේ ලියන්න: “පළමු වැන්නා ද අන්තිමයා ද වූ මැරුණු නමුදු යළි ජීවනයට පැමිණි තැනැත්තාණන්ගේ වචන මෙසේ ය.</verse>
				<verse number="9">“ඔබගේ පීඩා ද ඔබගේ දිළිඳුකම ද දනිමි. එහෙත් ඔබ ධනවත් ය! යුදෙව්වන් නො වන නමුත් තුමූ යුදෙව්වන්ය කියා ගන්නා, සාතන්ගේ සිනගෝගයට අයත් වූවන්ගේ අපවාද ද මම දනිමි.</verse>
				<verse number="10">ඔබ විඳින්නට යන දෑ ගැන බය නො වන්න. ඔන්න! පරීක්ෂා කරනු සඳහා සාතන් ඔබෙන් ඇතැම් දෙනකු සිරගෙයි දමන්නට යයි; දහ දවසක් ඔබ පීඩා විඳිනු ඇත. මරණය දක්වාත් විශ්වාසවන්තව සිටින්න. එවිට ජීවනයේ ඔටුන්න මම ඔබට දෙන්නෙමි.</verse>
				<verse number="11">“ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තා අසත්වා! ජයගන්නාට, දෙවන මරණයෙන් අනතුරක් වන්නේ නැත.</verse>
				<verse number="12">“පර්ගමම් සභාවේ දේව දූතයාට මෙසේ ලියන්න: “තියුණු, දෙමුවහත් කඩුව ඇති තැනැත්තාණන්ගේ වචන මෙසේ ය.</verse>
				<verse number="13">“ඔබ වාසය කරන්නේ කොතැනකදැයි මම දනිමි. ඒ, සාතන්ගේ සිංහාසනය ඇති තැනයි. එසේ වුවත්, ඔබ මාගේ නාමය තදින් අල්ලාගෙන සිටී. සාතන් වෙසෙන තැනදී ඔබ අතරේ මරා දමන ලද මාගේ විශ්වාස සාක්ෂිකරු වූ අන්තිපස්ගේ දවස්හිදීවත්, මා කෙරේ තැබූ ඔබේ ඇදහිල්ල ඔබ ප්‍රතික්ෂේප කළේ නැත.</verse>
				<verse number="14">“එහෙත් ඔබට එරෙහිව කරුණු ස්වල්පයක් මට තිබේ. පිළිමවලට යාග කරන ලද පිදේනි කෑමටත්, ලිංගික අනාචාරයන්හි යෙදීමටත් ඉශ්‍රායෙල් පුත්‍රයින් ඉදිරියේ බාධකයක් තැබීමට බාලාක්ට ඉගැන්වූ බාලාම්ගේ ඉගැන්වීම් දරන්නන් ඇතමෙක් ඔබ අතර වෙති.</verse>
				<verse number="15">තවද නිකොලයිතන්වාදී ඉගැන්වීම් දරන්නෝත් ඔබට සිටිති.</verse>
				<verse number="16">එබැවින් පසුතැවිලි වන්න! නැතහොත්, මම විගස ඔබ වෙත අවුත්, මගේ මුවින් නික්මෙන කඩුවෙන් ඔවුන්ට එරෙහිව සටන් කරන්නෙමි.</verse>
				<verse number="17">“ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තා අසත්වා! ජයගන්නාට, සඟවන ලද මන්නා දෙන්නෙමි. ලබන්නා පමණක් මිස, අන් කිසිවකු දැනගනු නො ලබන අලුත් නමක් ලියන ලද සුදු ගලක් ද මම ඔහුට දෙන්නෙමි.</verse>
				<verse number="18">“තියාතිරා සභාවේ දේව දූතයාට මෙසේ ලියන්න: “ගිනි දැල්ලක් වැනි ඇස් හා දිදුලන පිත්තල වැනි පා ඇති දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ වචන මෙසේ ය.</verse>
				<verse number="19">“ඔබේ වැඩ ද ඔබේ ප්‍රේමය හා ඇදහිල්ල ද ඔබේ සේවය හා ඉවසා දරා ගැනීම ද මෑතදී ඔබේ වැඩ, මුලදීට වඩා වැඩි බව ද මම දනිමි.</verse>
				<verse number="20">“එහෙත් තමා දිවැසිවරියකැයි ඇයම කියා ගන්නා, අර යෙසබෙල් ස්ත්‍රියට අවකාශ දීම ඔබට එරෙහිව මට තියේ. ඈ සිය ඉගැන්වීම් මඟින් ලිංගික අනාචාරකම් කිරීමටත්, පිළිමවලට යාග කළ පිදේනි කෑමටත් මාගේ දාසයින් නොමග යවන්නී ය.</verse>
				<verse number="21">ඇගේ ලිංගික අනාචාරය ගැන පසුතැවිලි වන්නට මම ඇයට කල් දුනිමි. එහෙත්, ඇය ඊට කැමති නැත.</verse>
				<verse number="22">එබැවින්, විඳවීමේ යහනක මම ඇය හෙළා දමන්නෙමි. ඇය හා පරදාර සේවනයේ යෙදෙන්නන් ඇගේ මාර්ග ගැන පසුතැවිලි නො වේ නම්, ඔවුන් ද ඇය හා දරුණු පීඩාවකට පත් කරමි.</verse>
				<verse number="23">මම ඇගේ දරුවන් මරා දමන්නෙමි. එවිට, මනස හා හදවත විමසන තැනැත්තාණන් මා බැව් සියලු සභාවන් දැන ගන්නවා ඇත. තවද ඔබ එකිනෙකාගේ ක්‍රියා අනුව මම ඔබට ප්‍රතිවිපාක දෙමි.</verse>
				<verse number="24">“එහෙත් එම ඉගැන්වීම් දරන්නේ නැති, ඇතමුන් කියන පරිදි සාතන්ගේ ගැඹුරු රහස් ඉගෙන ගත්තේ නැති, තියාතිරාවේ සිටින සෙසු අය වන ඔබට මම මෙසේ කියමි, ‘අන් කිසි බරක් මා ඔබ පිට පටවන්නේ නැත.</verse>
				<verse number="25">ඔබට ඇති දෑ මා එන තුරු තදින් අල්ලාගෙන සිටින්න.’</verse>
				<verse number="26">“ජය ගන්නාවූත්, අවසානය දක්වා මගේ වැඩ කරගෙන යන්නාවූත් තැනැත්තාට මම,</verse>
				<verse number="27">මගේ පියාණන් වෙතින් මා ආධිපත්‍යය ලැබූ අයුරින් ජාතීන් කෙරෙහි ආධිපත්‍යය දෙමි. ‘මැටි බඳුන් සේ ඔවුන් කැබලි කොට විසුණු කරමින්, ඔහු යදණ්ඩකින් ඔවුන් ආණ්ඩු කරනු ඇත.’</verse>
				<verse number="28">මම ඔහුට පහන් තරුව දෙන්නෙමි.</verse>
				<verse number="29">ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තා අසත්වා!</verse>
			</chapter>
			<chapter number="3">
				<verse number="1">“සර්දිස් සභාවේ දේව දූතයාට මෙසේ ලියන්න: “දෙවියන්වහන්සේගේ ආත්මයාණන් හත්දෙනා හා තාරකා හත ඇති තැනැත්තාණන්ගේ වචන මෙසේ ය. “ඔබේ වැඩ මම දනිමි. ඔබ ජීවත් වන බවට ප්‍රසිද්ධියක් ඇති නමුදු ඔබ මිය ගොසිනි.</verse>
				<verse number="2">අවදි වන්න! මැරී යෑමට ආසන්නව තවමත් ඉතිරිව ඇති දෑ ශක්තිමත් කරන්න. මන්ද මාගේ දෙවියන්වහන්සේ ඉදිරියේ ඔබේ වැඩ සම්පූර්ණ වූ වග මට සම්භ වුණේ නැත.</verse>
				<verse number="3">එබැවින්, ඔබ ලැබූ දේ හා ඇසූ දේ මතක් කරගන්න; ඒවා පවත්වා, පසුතැවිලි වන්න. එහෙත් ඔබ අවදි නො වේ නම්, මම සොරෙකු මෙන් එන්නෙමි. මා ඔබට එරෙහිව කවර පැයේ ඒදැයි ඔබ දැනගන්නේ නැත.</verse>
				<verse number="4">“එසේ වුවත්, තමන්ගේ ඇඳුම් කිලිටි කරගත්තේ නැති ස්වල්ප දෙනෙක් සර්දිස්හි ඔබට සිටිති. ඔවුන් සුදු ඇඳුම් හැඳ, මා සමඟ ගමන් කරනු ඇත. මන්ද ඔවුහු වටින්නෝ ය.</verse>
				<verse number="5">ජයගන්නා, එලෙස සුදු ඇඳුමින් හඳවනු ලැබේ. ඔහුගේ නම ජීවන පොතෙන් කිසි කලෙක මකා නො දමන්නෙමි. මාගේ පියාණන්වහන්සේ හා උන්වහන්සේගේ දේව දූතයින් ඉදිරියේ මම ඔහුගේ නම පිළිගන්නෙමි.</verse>
				<verse number="6">ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තා අසත්වා!</verse>
				<verse number="7">“පිලදෙල්පියා සභාවේ දේව දූතයාට මෙසේ ලියන්න: “දාවිත්ගේ යතුර ඇති, කිසිවකුටත් වැසිය නො හැකි සේ විවර කරන, කිසිවකුටත් විවර කළ නො හැකි සේ වසා දමන ශුද්ධවූත්, සත්‍යවූත් තැනැත්තාණන්ගේ වචන මෙසේ ය.</verse>
				<verse number="8">“මම ඔබේ වැඩ දනිමි. මෙන්න! කිසිවකුටත් වැසිය නො හැකි ඇරුණු දොරක් මම ඔබ ඉදිරියේ තැබීමි. ඔබට ඇත්තේ සුළු බලයක් වග මම දනිමි. එහෙත් ඔබ මාගේ වචනය පිළිපැද්දහ. මාගේ නාමය ප්‍රතික්ෂේප නො කළහ.</verse>
				<verse number="9">ඔන්න යුදෙව්වන් නො වන නමුත් තමන් යුදෙව්වන්ය කියා ගන්නා සාතන්ගේ සිනගෝගයේ බොරුකරුවන් අවුත්, ඔබේ දෙපා මුල වැඳ වැටෙන්නටත්, මා ඔබට ප්‍රේම කළ වග ඔවුන්ට දැන ගන්නටත් සලසන්නෙමි.</verse>
				<verse number="10">ඉවසීමෙන් දරා සිටින්නට මා දුන් වචනය ඔබ රක්ෂා කළ බැවින්, මිහි පිට වෙසෙන්නවුන් පරීක්ෂා කිරීමට මුළු ලෝකය පිටට එන්නට තිබෙන පරීක්ෂාවේ පැයෙන්, මමත් ඔබ රක්ෂා කරන්නෙමි.</verse>
				<verse number="11">“මම ඉක්මනින් එමි. කිසිවකුත් ඔබේ ඔටුන්න උදුරා නො ගන්න ලෙසට, ඔබට ඇති දෑ තරකොට අල්ලාගෙන සිටින්න.</verse>
				<verse number="12">ජයගන්නා, මාගේ දෙවියන්වහන්සේගේ මාලිගයේ කුලුනක් කරන්නෙමි. කිසි කලෙක ඔහු එතැන හැර යන්නේ නැත. මාගේ දෙවියන්වහන්සේගේ නාමය හා මාගේ දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසින අලුත් යෙරුසලම වන මාගේ දෙවියන්වහන්සේගේ පුරවරයේ නාමය ද මගේම අලුත් නාමය ද මම ඔහු පිට ලියන්නෙමි.</verse>
				<verse number="13">ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තා අසත්වා!</verse>
				<verse number="14">“ලවොදීසියා සභාවේ දේව දූතයාට මෙසේ ලියන්න: “දෙවියන්වහන්සේගේ මැවිල්ලේ මූල-නිධානය වූ විශ්වාසවන්ත, සත්‍ය සාක්ෂිකරු වූ ආමෙන් නැමැත්තාගේ වචන මෙසේ ය.</verse>
				<verse number="15">“මම ඔබේ වැඩ දනිමි; ඔබ සිසිල්ව හෝ උණුසුම්ව හෝ නැත. ඔබ සිසිල්ව හෝ උණුසුම්ව හෝ සිටියි නම් කැමැත්තෙමි!</verse>
				<verse number="16">මෙසේ, ඔබ උණුසුම්ව හෝ සිසිල්ව හෝ නො සිට ඇල්මැරුණු ගතියෙන් යුතු බැවින්, මගේ මුවින් මම ඔබ වමාරන්නෙමි.</verse>
				<verse number="17">‘මා ධනවත් ය; මා ධනය අත්කර ගෙන ඇත. කිසිවකින් මට අඩුවක් නැතැ’ යි ඔබ කියන්නේ ඔබගේ කාලකණ්ණි, දුක්ඛිත, දුගී, අන්ධ හා නග්න භාවය අවබෝධ කරගෙන නො වේ.</verse>
				<verse number="18">ඔබ ධනවත් වන පිණිස, ගින්නෙන් පවිත්‍ර කරන ලද රන් ද ඔබට ඇඳගන්නට හා ලජ්ජා සහගත ඔබගේ නග්න භාවය නො පෙනෙන පිණිස, සුදු ඇඳුම් ද දකින්නට හැකි වන පිණිස, ඔබේ ඇස්වල තවරා ගන්නට නෙතු ආලේප ද මගෙන් මිලයට ගන්නා ලෙස මම ඔබට අවවාද කරමි.</verse>
				<verse number="19">“මා ප්‍රේම කරන අයට මම තරවටු කොට හික්මවමි. එබැවින් උද්යෝගිමත් වන්න. පසුතැවිලි වන්න.</verse>
				<verse number="20">මෙන්න! මම දොර ළඟ සිටගෙන, තට්ටු කරමි. මාගේ කටහඬ අසා යමෙක් දොර අරින්නේ නම්, මම ඇතුළුව ඔහු හා එක්ව අහර ගන්නෙමි. ඔහු ද මා සමඟ අහර ගනු ඇත.</verse>
				<verse number="21">“ජයගන්නාට මා සමඟ මගේ සිංහාසනයේ හිඳගැනීමේ වරම මා දෙන්නේ, මා ජය ගෙන මාගේ පියාණන්වහන්සේගේ සිහසුනේ උන්වහන්සේ සමඟ හිඳගත් අයුරිනි.</verse>
				<verse number="22">ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තා අසත්වා!” යි කී සේක.</verse>
			</chapter>
			<chapter number="4">
				<verse number="1">මින් පසුව මම බැලීමි. මෙන්න! ස්වර්ගයේ ඇරී තිබෙන දොරක්. එවිට පළමුව මට ඇසුණු, හොරණෑවක් වැනි මා ඇමතූ කටහඬ, “මෙහි නැගී එන්න; මින් පසු සිදු විය යුතු දෑ මම ඔබට පෙන්වන්නෙමි” යි කී ය.</verse>
				<verse number="2">එක්වනම මා ආත්මයාණන්වහන්සේ තුළ විය. මෙන්න! එවිට ස්වර්ගයේ සිංහාසනයක් මා ඉදිරියේ තිබිණි. ඒ සිංහාසනයේ කෙනෙක් හිඳ සිටි සේක.</verse>
				<verse number="3">එහි හිඳ හුන් තැනැත්තාණන්ගේ ස්වරූපය සූර්යකාන්ති හා ලෝහිතංකවලට සමාන විය. තවද මරකත මිණකට සමාන දේදුන්නක් සිංහාසනය වටා තිබිණි.</verse>
				<verse number="4">ඒ සිංහාසනය වටා තවත් සිංහාසන විසිහතරක් විය; ඒ සිංහාසන මත සුදු ඇඳුම් හැඳි, තම හිස් මත රන් ඔටුනු පැලඳි වැඩිමහල්ලෝ විසිහතර දෙනෙක් හිඳ සිටියහ.</verse>
				<verse number="5">සිංහාසනයෙන් විදුලි අකුණු ධාරා, ශබ්ද රාව හා මේඝ ගර්ජනා නික්මිණි. දෙවියන්වහන්සේගේ ආත්මයාණන් හත්දෙනා වන දැල්වෙන පන්දම් හතක් සිංහාසනය ඉදිරිපිට විය.</verse>
				<verse number="6">තවද පළිඟු මෙන් දිළිසෙන වීදුරු සාගරයක් වැන්නක් සිංහාසනය ඉදිරිපිට විය. සිහසුන මැද හා අවට ජීවමාන සත්වයින් හතර දෙනෙක් වූහ. ඉදිරියෙන් හා පිටුපසින් උන් ඇස්වලින් වැසී තිබිණි.</verse>
				<verse number="7">පළමු ජීවමාන සත්වයා සිංහයකු වැනි ය. දෙවන ජීවමාන සත්වයා වස්සකු වැනි ය. තුන් වන ජීවමාන සත්වයාට මිනිසකුගේ මුහුණක් තිබිණ. සිවුවන ජීවමාන සත්වයා ඉගිළෙන රාජාලියකු වැනි ය.</verse>
				<verse number="8">එක් එක් ජීවමාන සත්වයා පියාපත් හයක් බැගින් යුක්තව, පිටතින් හා ඇතුළතින් ඇස්වලින් පිරී සිටියහ. ඔවුහු දිවා රෑ දෙක්හි කිසි විටෙක නො නැවතී, මෙසේ කියති: “සිටියා වූ, සිටින්නා වූ, මතු ද සිටින්නා වූ, ‘සියලු බලැති දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ, ශුද්ධ ය, ශුද්ධ ය, ශුද්ධ ය.’ ”</verse>
				<verse number="9">සිංහාසනයේ හිඳිනා, සදහට ම, සදාතනිකව ජීවත් වන තැනැන්වහන්සේට ජීවමාන සත්වයින් මහිමය ද ගෞරවය ද ස්තුතිය ද දෙන කවර විටෙක වුව,</verse>
				<verse number="10">වැඩිමහල්ලෝ විසිහතර දෙනා සිංහාසනයේ හිඳින තැනැන්වහන්සේ අබියස වැඳ වැටී, සදහට ම, සදාතනිකව ජීවත් වන තැනැන්වහන්සේට නමස්කාර කරති. ඔවුහු තම ඔටුනු සිංහාසනය අබියස හෙළා,</verse>
				<verse number="11">“අපගේ ස්වාමින්වහන්ස, අපගේ දෙවියන්වහන්ස, මහිමයත්, ගෞරවයත්, බලයත්, ලබන්ට වටින්නේ ඔබවහන්සේ ය. මන්ද ඔබ සියලු දේ මැවූ සේක. ඒවා පවතින්නේත්, ඒවා මවන ලද්දේත් ඔබගේ කැමැත්තෙනි” යි පවසති.</verse>
			</chapter>
			<chapter number="5">
				<verse number="1">තවද සිංහාසනයේ හිඳ හුන් තැනැන්වහන්සේගේ දකුණු අතේ, ඇකුළුම් පොතක් තිබෙනු දුටුවෙමි. ඇතුළත හා පිටත ලියන ලද එය මුද්‍රා හතකින් මුද්‍රා තබා තිබිණ,</verse>
				<verse number="2">තවද බලවත් දේව දූතයකු උස් හඬ නගා, “මේ පොත දිග හරින්නටත්, එහි මුද්‍රා කඩන්නටත් සුදුස්සා කවුරු දැ?” යි ප්‍රකාශ කරනු මම දුටුවෙමි.</verse>
				<verse number="3">එහෙත් පොත දිග හරින්නට හෝ එහි ඇතුළත බලන්නට හෝ සමත් කිසිවකු ස්වර්ගයේවත්, පොළොවේවත්, පොළොවෙන් යටවත් නො වීය.</verse>
				<verse number="4">පොත දිග හරින්නට හෝ එහි ඇතුළත බලන්නට හෝ සුදුස්සකු හමු නො වූ බැවින් මම තදින් හඬන්නට වන්නෙමි.</verse>
				<verse number="5">එවිට මා ඇමතූ වැඩිමහල්ලන්ගෙන් කෙනෙක්, “හඬන්න එපා; මෙන්න, පොත හා එහි මුද්‍රා හත අරින්නට හැකි වන පිණිස, යූදා වංශයේ සිංහයා වූ දාවිත්ගේ අංකුරයාණන් ජය ගත් සේකැ” යි මට කීවේ ය.</verse>
				<verse number="6">එකල සිංහාසනයට හා ජීවමාන සත්වයින් හතර දෙනාට මැදි වී, වැඩිමහල්ලන් අතර සිටගෙන හුන් බැටළු පැටවකු මම දුටුවෙමි. මරන ලද සේ පෙනුණු ඒ බැටළු පැටවාණන්ට අං සතක් හා ලෝකය මුළුල්ලේ පිටත් කර යවන ලද දෙවියන්වහන්සේගේ ආත්මයාණන් හත්දෙනා වන ඇස් හතක් තිබිණි.</verse>
				<verse number="7">එතුමාණෝ අවුත්, සිංහාසනයේ හිඳ සිටි තැනැන්වහන්සේගේ දකුණතින් පොත ගත් සේක.</verse>
				<verse number="8">එතුමන් පොත ගත් කල, ජීවමාන සත්වයින් හතරදෙනා හා වැඩිමහල්ලන් විසිහතර දෙනා බැටළු පැටවාණන් අබියස වැඳ වැටුණහ. ඒ හැම කෙනෙක්ම වීණාවක් ද ශුද්ධවතුන්ගේ යාච්ඤා නම් වූ සුවඳ දුමින් පිරුණු රන් පාත්‍රා ද දැරූහ.</verse>
				<verse number="9">ඔවුහු අලුත් ගීයක් ගැයූහ: “සුදුසුයි ඔබ පොත ගන්නට, හා එහි මුද්‍රා අරින්නට, මන්ද ඔබ මරන ලද නිසා ඔබගේ ලෙයින් වන්දි ගෙවා, හැම ගෝත්‍රයකින් හා භාෂාවකින් ද හැම ජනතාවකින් හා ජාතියකින් ද, මිනිසුන් දෙවියන්වහන්සේට මිලයට ගෙන,</verse>
				<verse number="10">ඔබ ඔවුන් අපේ දෙවියන්වහන්සේට රාජ්‍යයක් හා පූජකයින් කර ඇත; ඔවුන් පොළොවේ රජකම් කරනු ඇත.”</verse>
				<verse number="11">එවිට මා බැලූ කල, සිංහාසනය ද ජීවමාන සත්වයින් ද වැඩිමහල්ලන් ද වටා, දේව දූතයින් සමූහයකගේ කටහඬ මට ඇසිණි. ගණනින් දස දහස්වර දස දහසක් ද දහස්වර දහසක් ද වූ</verse>
				<verse number="12">ඔවුහු හඬ නගා, “මරන ලද බැටළු පැටවාණෝ, බලය, ධනය හා ප්‍රඥාව ද ශක්තිය, ගෞරවය, මහිමය හා පැසසුම ද ලබන්නට වටින්නේ යැ!” යි පැවසූහ.</verse>
				<verse number="13">එවිට, ස්වර්ගයේ ද පොළොවේ ද පොළොවෙන් යට ද මුහුදේ ද වූ හැම මැවිල්ලක් හා ඒවායේ සිටින සියල්ලන් මෙසේ පවසනු මට ඇසිණි: “සිංහාසනයේ හිඳ සිටිනා තැනැත්තාණන්ටත්, බැටළු පැටවාණන්ටත්, ප්‍රශංසාව හා ගෞරවය ද මහිමය හා පරාක්‍රමය ද, සදහට ම, සදාතනිකව අත් වේවා!”</verse>
				<verse number="14">ජීවමාන සත්වයෝ හතරදෙනා, “ආමෙන්” කීහ. වැඩිහිටියෝ විසිහතර දෙනා වැඳ වැටී, නමස්කාර කළහ.</verse>
			</chapter>
			<chapter number="6">
				<verse number="1">බැටළු පැටවාණන් මුද්‍රා හතෙන් පළමුවැන්න කඩනු මම බලා සිටියෙමි. එවිට ජීවමාන සත්වයින් හතර දෙනාගෙන් එකකු ගිගුරුමක් වැනි හඬින්, “එනු!” යි කියනු මට ඇසිණි.</verse>
				<verse number="2">මා බැලූ කල, මෙන්න! එහි සුදු අශ්වයෙක්; එහි අසරුවා අත දුන්නක් විය. ඔටුන්නක් ඔහුට දෙන ලදී. ඔහු ජය ගන්නට, ජයග්‍රාහීව පිටත්ව ගියේ ය.</verse>
				<verse number="3">උන්වහන්සේ දෙවැනි මුද්‍රාව කැඩූ කල, දෙවන ජීවමාන සත්වයා, “එනු!” යි කියනු මට ඇසිණි.</verse>
				<verse number="4">ගිනි රතු වෙනත් අශ්වයෙක් පිටතට ආවේ ය. මිනිසුන් එකිනෙකා මරා ගන්නා පිණිස, පොළොවෙන් සාමය දුරු කරන්නට එහි අසරුවාට බලය දෙන ලදී. ඔහුට විශාල අසිපතක් ද දෙන ලදී.</verse>
				<verse number="5">උන්වහන්සේ තුන් වන මුද්‍රාව කැඩූ කල, තුන් වන ජීවමාන සත්වයා, “එනු!” යි කියනු මට ඇසිණි. මා බැලූ කල, මෙන්න! කළු අශ්වයෙක්! අසරුවා අත තරාදි යුගලයක් තිබිණි.</verse>
				<verse number="6">එවිට ජීවමාන සත්වයින් හතරදෙනා මධ්‍යයෙන් පැමිණි කටහඬක් වැනි හඬක් මට ඇසිණි. “තිරිඟු නැළියක මිල ඩිනාරියකි; යව නැළි තුනක මිල ඩිනාරියකි; තෙල්වලටත්, මිදි යුෂවලටත් හානි නො කරන්නැ” යි ඉන් කියැවිණි.</verse>
				<verse number="7">උන්වහන්සේ හතර වන මුද්‍රාව කැඩූ කල, සිවුවන ජීවමාන සත්වයා, “එනු!” යි කියනු මට ඇසිණි.</verse>
				<verse number="8">මා බැලූ කල, මෙන්න! සුදුමැලි අශ්වයෙක්; අසරුවාගේ නම මරණය ය. හේදිසිය, ඔහු පස්සේ ගියේ ය. කඩුවෙන්, සාගතයෙන්, වසංගතයෙන් හා පොළොවේ වන මෘගයින් මඟින් පොළොවෙන් හතරෙන් එකක් මරා දමන්නට ඔවුනට බලය දෙන ලදී.</verse>
				<verse number="9">උන්වහන්සේ පස් වන මුද්‍රාව කැඩූ කල, පූජාසනය යට මා දුටුවේ, දෙවියන්වහන්සේගේ වචනය නිසාත්, තමන් දැරූ සාක්ෂිය නිසාත් මරනු ලැබූවන්ගේ ජීවාත්මයන් ය.</verse>
				<verse number="10">ඔවුහු උස් හඬින් මොර ගසමින්, “ශුද්ධ වූ, සත්‍ය වූ පරමෝත්තම ස්වාමින්වහන්ස, ඔබ පොළොවේ වාසය කරන්නන් විනිශ්චය නො කොට, අපගේ ලේ ගැන ඔවුන්ගෙන් පළිය නො ගෙන, තව කොතෙක් කල් සිටින සේක් දැ?” යි කීහ.</verse>
				<verse number="11">එවිට ඔවුන් එකිනෙකාට සුදු ලෝගුව බැගින් දෙන ලදී. තවද ඔවුන් මරනු ලැබූ ලෙසම, මරනු ලබන්නට සිටින ඔවුන්ගේ හවුල් සේවකයින්ගේත්, සහෝදරයින්ගේත් ගණන සම්පූර්ණ කරන තෙක්, තව ටික කලක් විවේක ගන්නැයි ඔවුනට කියන ලදී.</verse>
				<verse number="12">උන්වහන්සේ හයවන මුද්‍රාව කඩන කල මම බැලුවෙමි. එවිට මෙන්න, මහා භූමිකම්පාවක්; හිරු, ගෝණි රෙද්දක් සේ කළු විය. පුරාහඳ මුළුමනින්ම ලේ වැනි විය.</verse>
				<verse number="13">අත්තික්කා ගහක් සැඬ සුළඟින් සොලවනු ලැබූ කල, එහි අකාල-පල ඇද හැලෙන්නා සේ අහසේ තරු පොළොවට ඇද වැටිණි.</verse>
				<verse number="14">ඇකුළුම් පොතක් අකුළනු ලැබූ සේ අහස නො පෙනී ගියේ ය. හැම කන්දක් හා දිවයිනක් ඒවා පිහිටි තැනින් ඉවත් කරන ලදී.</verse>
				<verse number="15">එවිට පොළොවේ රජවරු, අධිපතීහු, හමුදාපතීහු, ධනවත්හු හා බලවත්හු ද හැම වහලෙක් හා නිවහල් මිනිහෙක් ද ගුහාවලත්, කඳුවල ගල් කුළු අතරේත් සැඟවුණහ.</verse>
				<verse number="16">ඔවුහු කඳු හා පර්වත අමතමින්, “අප පිට වැටියව්! සිංහාසනය මත හිඳින තැනැන්වහන්සේගේ මුහුණ වෙතින් හා බැටළු පැටවාණන්ගේ උදහස වෙතින් අප සඟවා ගනිව්.</verse>
				<verse number="17">මන්ද ඔවුන්ගේ උදහසේ මහා දවස පැමිණ ඇති බැවින්, සිටිය හැක්කේ කවරකුට දැ?” යි කීහ.</verse>
			</chapter>
			<chapter number="7">
				<verse number="1">මින් පසුව, පොළොවේ හතර කොනේ සිටගෙන සිටි දේව දූතයින් හතර දෙනකු, ගොඩබිමට හෝ මුහුදට හෝ කිසි ගසකට හෝ නො වදින ලෙස පොළොවේ හතර සුළඟ අල්ලා, නවතාගෙන සිටිනු මම දුටුවෙමි.</verse>
				<verse number="2">එවිට තවත් දේව දූතයෙක් ජීවමාන දෙවියන්වහන්සේගේ මුද්‍රාව රැගෙන, හිරු නැගෙන දෙසින් නැගී එනු දුටුවෙමි. ඔහු උස් හඬ නගා, ගොඩබිමටත්, මුහුදටත් හානි කරන්නට බලය ලැබ සිටි දේව දූතයින් හතරදෙනා අමතමින්,</verse>
				<verse number="3">“අපගේ දෙවියන්වහන්සේගේ දාසයින්ගේ නළල්වල මුද්‍රාවක් තබන තුරු, ගොඩබිමටවත්, මුහුදටවත්, ගස්වලටවත් හානි නො කරන්නැ” යි කීවේ ය.</verse>
				<verse number="4">එසේ මුද්‍රා තබනු ලැබූවන්ගේ ගණන මට ඇසිණි. ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍ර සියල්ලෙන් මුද්‍රා තබනු ලැබූවන්ගේ ගණන එක්ලක්ෂ හතළිස්හතර දහසකි.</verse>
				<verse number="5">යූදා ගෝත්‍රයෙන් 12,000ක් මුද්‍රා තබන ලදහ. රූබන් ගෝත්‍රයෙන් 12,000, ගාද් ගෝත්‍රයෙන් 12,000,</verse>
				<verse number="6">අෂේර් ගෝත්‍රයෙන් 12,000, නප්තලී ගෝත්‍රයෙන් 12,000, මනස්සේ ගෝත්‍රයෙන් 12,000,</verse>
				<verse number="7">සිමියොන් ගෝත්‍රයෙන් 12,000, ලෙවී ගෝත්‍රයෙන් 12,000, ඉස්සාකර් ගෝත්‍රයෙන් 12,000,</verse>
				<verse number="8">සාබුලොන් ගෝත්‍රයෙන් 12,000, යෝසෙප් ගෝත්‍රයෙන් 12,000, බෙන්ජමින් ගෝත්‍රයෙන් 12,000ක් මුද්‍රා තබන ලදහ.</verse>
				<verse number="9">මෙයින් පසු මම බැලීමි; මෙන්න! එවිට අති විශාල ජන සමූහයක්; කිසිවකුටත් ගණන් කරන්නට බැරි තරමේ හැම ජාතියකට, හැම ගෝත්‍රයකට, හැම ජනතාවකට හා හැම භාෂාවකටම අයත් වූ ඔවුහු, සුදු ලෝගු හැඳ, ඉඳි අතු අතැතිව සිංහාසනය හා බැටළු පැටවාණන් ඉදිරියේ සිටගෙන වුන්හ.</verse>
				<verse number="10">ඔවුහු උස් හඬ නගා මොර ගැසුවෝ ය: “ගැලවීම අයිති සිංහාසනයේ හිඳින, අපගේ දෙවියන්වහන්සේටත්, බැටළු පැටවාණන්ටත් ය.”</verse>
				<verse number="11">දේව දූත සියල්ලෝ, සිංහාසනය වටාත්, වැඩිමහල්ලන් හා ජීවමාන සත්වයන් හතරදෙනා වටාත් සිටගෙන වුන්හ. ඔවුහු සිංහාසනය අබියස මුහුණින් වැඳ වැටී, දෙවියන්වහන්සේට නමස්කාර කරමින්,</verse>
				<verse number="12">මෙසේ කීහ: “ආමෙන්! ප්‍රශංසාව හා මහිමයත්, ප්‍රඥාව හා ස්තූතියත්, ගෞරවයත්, බලය හා පරාක්‍රමයත්, සදහට ම, සදාතනිකව ම අපේ දෙවියන්වහන්සේටම වේවා. ආමෙන්!”</verse>
				<verse number="13">එවිට වැඩිමහල්ලන්ගෙන් කෙනෙක් මා අමතමින්, “මේ සුදු ලෝගු හැඳ සිටින අය කවුරු ද? ඔවුන් ආවේ කොහේ සිට දැ?” යි ඇසී ය.</verse>
				<verse number="14">මම ඔහුට පිළිතුරු දෙමින්, “ඔබ එය දනියි, මාගේ ස්වාමිනි” යි කීවෙමි. එවිට ඔහු, “මහා පීඩාව මැදින් එන්නෝ මොවුහුයි. ඔවුන් තම සළු බැටළු පැටවාණන්ගේ ලෙයින් සෝදා සුදු කරගෙන ඇත.</verse>
				<verse number="15">එබැවින්, “ඔවුහු දෙවියන්වහන්සේගේ සිංහාසනය ඉදිරියේ, දිවා රැයේ උන්වහන්සේට, උන්වහන්සේගේ මාලිගයේ මෙහෙ කරති. සිංහාසන මත හිඳිනා තැනැන්වහන්සේ ස්වකීය අභිමුඛය, ඔවුනට ඉහළින් සෙවණක් කරන සේක.</verse>
				<verse number="16">‘ඔවුන්ට තවත් කුසගිනි වන්නේ නැත; පිපාස වන්නේ ද නැත. හිරු කිරණ හෝ දැවෙන ගිනියමක්,’ ඔවුන්ට පහර දෙන්නේ නැත.</verse>
				<verse number="17">මන්ද සිංහාසනය මැද සිටින බැටළු පැටවාණෝ, ඔවුනගේ එඬේරාණන් වන්නේ ය; ‘උන්වහන්සේ ජීවන දිය උල්පත් වෙත ඔවුනට මඟ පෙන්වන්නාහ.’ ‘දෙවියන්වහන්සේම ඔවුනගේ ඇස්වල කඳුළු හැම පිසදමන්නාහ’ යි” පැවසී ය.</verse>
			</chapter>
			<chapter number="8">
				<verse number="1">බැටළු පැටවාණන් හත්වන මුද්‍රාව කැඩූ කල, අඩ පැයකට පමණ ස්වර්ගයේ නිහැඬියාවක් විය.</verse>
				<verse number="2">දෙවියන්වහන්සේ ඉදිරිපිට සිටගෙන සිටි දේව දූතයින් හත්දෙනා ඉන්පසු මම දුටිමි. ඔවුනට හොරණෑ හතක් දෙන ලදී.</verse>
				<verse number="3">රන් දුම් බඳුනක් රැගත් වෙනත් දේව දූතයෙක් අවුත්, පූජාසනය ළඟ සිට ගත්තේ ය. සිංහාසනය ඉදිරිපිට රන් පූජාසනය මත, සියලු ශුද්ධවතුන්ගේ යාච්ඤා සමඟ ඔප්පු කරන පිණිස, සුවඳ ද්‍රව්‍ය බොහොමයක් ඔහුට දෙන ලදී.</verse>
				<verse number="4">ඒ සුවඳ ද්‍රව්‍යයන්හි දුම, ශුද්ධවතුන්ගේ යාච්ඤා සමඟ දේව දූතයා අතින් දෙවියන්වහන්සේ අබියසට නැංගේ ය.</verse>
				<verse number="5">ඒ දේව දූතයා දුම් බඳුන ගෙන, පූජාසනයේ ගින්නෙන් එය පුරවා, එය පොළොව පිට හෙළී ය. එවිට මේඝ ගර්ජනා ද ශබ්ද රාව ද විදුලි අකුණු ධාරා ද භූමිකම්පාවක් ද ඇති විය.</verse>
				<verse number="6">එවිට හොරණෑ හත ඇතිව සිටි දේව දූතයින් හත්දෙනා ඒවා පිඹින්නට සූදානම් වූහ.</verse>
				<verse number="7">පළමු දේව දූතයා තම හොරණෑව පිම්බේ ය. එවිට ලේ මිශ්‍ර ගල් වැස්සක් හා ගිනි හටගැනී, ඒවා පොළොව පිටට හෙළනු ලැබී ය. එයින්, පොළොවෙන් තුනෙන් එකක් දවා දැමිණ. ගස්වලින් තුනෙන් එකක් දවා දැමිණ. අමු තණකොළ සියල්ල ද දවා දැමිණ.</verse>
				<verse number="8">දෙවන දේව දූතයා තම හොරණෑව පිම්බේ ය. එවිට ගිනි ඇවිළෙන යෝධ කන්දක් වැනි යමක් මුහුදට හෙළනු ලැබී ය. මුහුදින් තුනෙන් එකක් ලෙයට හැරිණ.</verse>
				<verse number="9">මුහුදෙහි පණ ඇති සතුන්ගෙන් තුනෙන් එකක් මළහ. නැව්වලින් තුනෙන් එකක් විනාශ කෙරිණ.</verse>
				<verse number="10">තුන් වන දේව දූතයා තම හොරණෑව පිම්බේ ය. එවිට මහත් තරුවක් ගිනි හුළක් සේ ඇවිළෙමින්, ගංගාවල තුනෙන් එකක් පිට ද දිය උල්පත් පිට ද අහසේ සිට කඩා වැටිණ.</verse>
				<verse number="11">ඒ තරුවේ නම තික්ත ය. ජලයෙන් තුනෙන් එකක් ඉන් තිත්ත විණි. තිත්තව තිබූ ඒ ජලයෙන් බොහෝ දෙනා මළහ.</verse>
				<verse number="12">සිවුවන දේව දූතයා තම හොරණෑව පිම්බේ ය. එවිට හිරුගෙන් තුනෙන් එකකට ද සඳුගෙන් තුනෙන් එකකට ද තරුවලින් තුනෙන් එකකට ද පහර දෙනු ලැබී ය. එසේ වූයේ ඒවායින් තුනෙන් එකක් අඳුරු වන පිණිසත්, දහවලෙන් තුනෙන් එකක් නො බබළන පිණිස හා රැයෙන් තුනෙන් එකකට එයම වන පිණිසත් ය.</verse>
				<verse number="13">මා බලා සිටියදී ඉහළ අහසේ පියාසර කරමින් සිටි රාජාලියකු උස් හඬින් මෙසේ මොර ගසනු මට ඇසිණි. “දේව දූතයින් තුන්දෙනා පිඹින්නට යන අනෙක් හොරණෑ නාද නිසා, මිහි පිට වාසීනට දුක් වේ! දුක් වේ! දුක් වේ!”</verse>
			</chapter>
			<chapter number="9">
				<verse number="1">පස් වන දේව දූතයා තම හොරණෑව පිම්බේ ය. එවිට අහසින් පොළොවට වැටී තිබූ තරුවක් මම දුටිමි. ඔහුට පතුලක් රහිත අගාධ වළේ යතුර දෙන ලදී.</verse>
				<verse number="2">ඔහු පතුලක් රහිත අගාධ වළ විවර කළ කල්හි, යෝධ උඳුනකින් නැගෙන දුමක් සේ එයින් දුම් නැගිණි. වළෙන් නැගුණු දුමින් හිරුත්, අහසත් අඳුරු විය.</verse>
				<verse number="3">ඒ දුමින් පළඟැටි නික්ම පොළොවට බැස ආහ. පොළොවේ ගෝනුස්සන්ගේ බලය වැනි බලයක් උන්ට දෙන ලදී.</verse>
				<verse number="4">පොළොවේ තෘණවලට හෝ යම් පැළයකට හෝ ගසකට හෝ හානි නො කරන ලෙස, එහෙත් දෙවියන්වහන්සේගේ මුද්‍රාව තම නළල්හි නැති මිනිසුන්ට පමණක් හිංසා කරන ලෙස උන්ට කියන ලදී.</verse>
				<verse number="5">පස් මසක් ඔවුන්ට වධ දෙන්නට උන්ට අවසර ලැබිණ; එහෙත් මිනිසුන් මරන්නට නො වේ; ඔවුන් විඳි වේදනාව ගෝනුස්සකු මිනිසකුට දෂ්ට කළ විට දැනෙන වේදනාව බඳු විය.</verse>
				<verse number="6">ඒ කාලයේදී මිනිසුන් මරණය සොයනු ඇත. එහෙත් ඔවුනට එය සම්භ නො වේ; මැරෙන්නට ඔවුන් මහත් සේ ආශා කරනු ඇත. එහෙත් මරණය ඔවුන් වෙතින් පලා යනු ඇත.</verse>
				<verse number="7">මෙම පළඟැටින්ගේ පෙනුම, යුද්ධයට සූදානම් කරන ලද අශ්වයින් වැනි ය. උන්ගේ හිස්වල රන් ඔටුනු සේ පෙනුණු යමක් තිබිණි. උන්ගේ මුහුණු, මිනිස් මුහුණු බඳු විය.</verse>
				<verse number="8">උන්ගේ හිසකේ, ස්ත්‍රීන්ගේ හිසකේ බඳු විය. උන්ගේ දත්, සිංහ දත් බඳු විය.</verse>
				<verse number="9">යකඩ ළය වැසුම් වැනි ළය වැසුම් උන්ට තිබිණි. උන් පියාසලන හඬ, බොහෝ අශ්වයින් හා අශ්ව රථ යුද්ධයට කඩා වදින හඬට සමාන විණි.</verse>
				<verse number="10">ගෝනුස්සන්ට මෙන් වල්ගා හා දළ උන්ට තිබිණි. පස් මසක් මිනිසුන්ට හිංසා කරන්නට උන්ගේ බලය තිබුණේ උන්ගේ වල්ගාවල ය.</verse>
				<verse number="11">උන්ගේ රජු වශයෙන් පතුලක් රහිත අගාධයේ දූතයා උන්ට සිටියේ ය. ඔහුගේ නම විනාශකයා යන අරුතින් හෙබ්‍රෙව් බසින් අබද්දොන් ය; ග්‍රීක් බසින් අපොල්ලියෝන් ය.</verse>
				<verse number="12">පළමු දුක ගෙවිණි. මෙන්න; තවත් දුක් දෙකක් එන්නට තිබේ.</verse>
				<verse number="13">හයවන දේව දූතයා තම හොරණෑව පිම්බේ ය. එවිට දෙවියන්වහන්සේ ඉදිරියේ වූ රන් පූජාසනයේ කොන් සතර වෙතින් මට ඇසුණ කටහඬක්,</verse>
				<verse number="14">හොරණෑව දැරූ හයවන දේව දූතයා අමතමින්, “යුප්‍රටීස් මහ ගංගාව ළඟ බැඳි, දේව දූතයින් හතරදෙනා මුදා හරිනු” යි කී ය.</verse>
				<verse number="15">එබැවින් මෙම පැය සඳහාම, මෙම දවස, මෙම මාසය, මෙම වසර සඳහාම සූදානම් කර තබන ලද එම දූතයින් සතර දෙනා, මිනිස් වර්ගයාගෙන් තුනෙන් එකක් මරා දමන පිණිස, මුදා හරින ලදහ.</verse>
				<verse number="16">අසරු බළ ඇණියේ ගණන විසි කෝටියකි. ඔවුන්ගේ ගණන මට ඇසිණි.</verse>
				<verse number="17">මගේ දර්ශනයෙන් මා දුටු අශ්වයින් හා අසරුවන් මා දැක්කේ මෙසේ ය: ඔවුන්ගේ ළය වැසුම් ගිනි, ඉඳුනිල් හා ගෙන්දගම් යන පැහැයෙන් යුතු විණි. අශ්වයින්ගේ හිස්, සිංහ හිස් හා සමාන විය. උන්ගේ කටින් ගිනි, දුම් හා ගෙන්දගම් පිටව ආවේ ය.</verse>
				<verse number="18">ඔවුන්ගේ මුවින් නික්මුණු ගිනි, දුම් හා ගෙන්දගම් යන පීඩා තුනෙන්, මිනිස් වර්ගයාගෙන් තුනෙන් එකක් මරා දමනු ලැබිණි.</verse>
				<verse number="19">අශ්වයින්ගේ බලය තිබුණේ, උන්ගේ කටවල හා වල්ගාවල ය. මන්ද උන්ගේ වලිග හිස් සහිත සර්පයින්ට සමාන විණි. උන් තුවාල කළේ ඒවායිනි.</verse>
				<verse number="20">මෙම පීඩාවලින් නො මැරී ඉතිරි වූ මනුෂ්‍ය වර්ගයා ඔවුන්ගේ අත්වල වැඩ ගැන පසුතැවිලි වූයේ නැත. ඔවුහු යක්ෂාත්මයන්ට ද කතා කරන්නට හෝ අසන්නට හෝ ඇවිදින්නට හෝ බැරි රනින්, රිදීයෙන්, ලෝකඩයෙන්, ගලින් හා ලීයෙන් තැනූ දේවතා පිළිමවලට ද නමස්කාර කිරීමෙහි නැවතුණේ ද නැත.</verse>
				<verse number="21">ඔවුහු තම මිනී මැරුම් ද තම මන්තර ගුරුකම් ද තම ලිංගික දුරාචාර ද තම සොරකම් ද ගැන පසුතැවිලි වූයේ නැත.</verse>
			</chapter>
			<chapter number="10">
				<verse number="1">ඉන්පසු වෙනත් බලවත් දේව දූතයකු ස්වර්ගයෙන් බැස එනවා මම දුටුවෙමි. වලාකුළක වෙළී, හිසට ඉහළින් දේදුන්නක් ඇතිව සිටි ඔහුගේ මුහුණ හිරුට සමාන විය; ඔහුගේ කකුල් ගිනි කුලුනු බඳු විය.</verse>
				<verse number="2">ඔහුගේ අතේ දිග ඇරුණු කුඩා ඇකුළුම් පොතක් විය. තම දකුණු පය මුහුදේ ද තම වම් පය ගොඩබිම ද තබාගෙන සිටි ඔහු,</verse>
				<verse number="3">සිංහ ගර්ජනාවක් වැනි උස් හඬකින් කෑගැසී ය. ඔහු කෑ ගැසූ කල, ගිගුරුම් හත හඬ නැංවී ය.</verse>
				<verse number="4">ගිගුරුම් හත හඬ නැංවූ කල, මම ලියන්නට සැරසුණෙමි; එහෙත්, “ගිගුරුම් හත පැවසූ දෑ මුද්‍රා තබන්න; එය ලියන්න එපා” යි ස්වර්ගයෙන් ආ කටහඬක් පවසනු මට ඇසිණි.</verse>
				<verse number="5">එවිට මුහුදත්, ගොඩ බිමත් මත සිටගෙන සිටිනු මා දුටු දේව දූතයා ස්වර්ගය දෙසට තම දකුණු අත ඔසවා,</verse>
				<verse number="6">ස්වර්ගය හා එහි ඇති සියල්ලත්, පොළොව හා එහි ඇති සියල්ලත්, මුහුද හා එහි ඇති සියල්ලත් මැවූ, සදාතනයෙන් සදාතනයට ජීවත් වන තැනැන්වහන්සේ නමින් දිවුරමින්, “තවත් පමා වන්නේ නැත කියා ද</verse>
				<verse number="7">එහෙත් හත්වන දේව දූතයා හොරණෑව පිඹින්නට සැරසෙන දවස්හි දෙවියන්වහන්සේ තම සේවකයින් වූ දිවැසිවරුනට ප්‍රකාශ කළ ලෙස, උන්වහන්සේගේ අබිරහස ඉෂ්ට කරනු ලැබේ ය කියා ද” පැවසී ය.</verse>
				<verse number="8">එවිට, ස්වර්ගයේ සිට මා අමතනු මා අසා තිබූ කටහඬ යළිත් මා අමතමින්, “යන්න; මුහුදත්, ගොඩ බිමත් මත සිටගෙන සිටින දේව දූතයා අතේ දිග ඇර ඇති ඇකුළුම් පොත ගන්නැ” යි පැවසී ය.</verse>
				<verse number="9">එබැවින් ඒ දේව දූතයා වෙත ගිය මම ඒ කුඩා ඇකුළුම් පොත මට දෙන්නැයි කීවෙමි. එවිට ඔහු, “ගන්න; ගෙන එය කන්න. එය ඔබේ බඩ තිත්ත කරනු ඇත. ‘එහෙත් එය ඔබේ මුවෙහි මී පැණි සේ මිහිරි වනු ඇතැ’ යි” කීවේ ය.</verse>
				<verse number="10">දේව දූතයා අතින් මම ඒ පොත ගෙන කෑවෙමි. එය මා මුවෙහි මී පැණි සේ මිහිරි විය. එහෙත් මා එය කා නිම වූ කල මගේ බඩ තිත්ත විය.</verse>
				<verse number="11">එවිට, “බොහෝ ජනයා ද ජාතීන් ද භාෂා ද රජුන් ද පිළිබඳව ඔබ යළිත් දිවැසි වැකි කිය යුතු යැ” යි මට කියන ලදී.</verse>
			</chapter>
			<chapter number="11">
				<verse number="1">පසුව, මට රිටක් වැනි මිනුම් දණ්ඩක් දෙන ලදුව, “නැගිට, දෙවියන්වහන්සේගේ මාලිගය ද පූජාසනය ද එහි නමස්කාර කරන්නන් ද මනින්න.</verse>
				<verse number="2">එහෙත් මාලිගයෙන් පිටත මළුව මනින්න එපා; එය අතහරින්න; මන්ද එය අන්‍ය-ජාතීන්ට දී තිබේ. ඔවුන් ශුද්ධ නගරය හතළිස් දෙමාසයක් පයින් පාගා දමනු ඇත.</verse>
				<verse number="3">තවද මම මාගේ සාක්ෂිකරුවන් දෙදෙනාට බලය දෙන්නෙමි. එවිට ඔවුන් ගෝණි පඩංගු හැඳ, එක්දහස් දෙසියහැට දවසක් දිවැසි වැකි පවසනු ඇතැ” යි මට කියන ලදී.</verse>
				<verse number="4">මොවුන්, පොළොවේ ස්වාමින්වහන්සේ ඉදිරිපිට පිහිටි ඔලීව ගස් දෙක හා පහන් රුක් දෙක වේ.</verse>
				<verse number="5">යමකු ඔවුනට අනතුරු කරන්නට යන්නේ නම්, ඔවුන්ගේ මුවින් ගිනි වැගිර, ඔවුන්ගේ සතුරන් දවා දැමේ; ඔවුන්ට අනතුරු කරන්නට සොයන්නවුන් එලෙස මරා දමනු ලැබිය යුතු වේ.</verse>
				<verse number="6">තමන් දිවැස් වැකි පවසන කාලය තුළ වැසි නො වසින ලෙස අහස පියවන්නට මොවුන්ට බලය ඇත. තවද ජලය ලෙයට හැරවීමටත්, තමන් කැමති හැම විටෙක කවර අයුරක වුව වසංගතයකින් පොළොවට පහර දීමටත් බලය ඔවුනට ඇත.</verse>
				<verse number="7">ඔවුන් තම සාක්ෂිය නිම කළ විට, පතුලක් රහිත අගාධයෙන් නැගී එන මෘගයා ඔවුන් හා යුද්ධ කර, ඔවුන්ගෙන් ජය ගෙන, ඔවුන් මරා දමනු ඇත.</verse>
				<verse number="8">ඔවුන්ගේ මළකඳන්, සොදොම හා ඊජිප්තුව යයි සංකේතව හැඳින්වෙන, ඔවුන්ගේ ස්වාමින්වහන්සේ කුරුසිපත් කරන ලද මහ නගර වීදියෙහි බාවා තිබෙනු ඇත.</verse>
				<verse number="9">ජනයින්ට, ගෝත්‍රයන්ට, භාෂාවන්ට හා ජාතීන්ට අයත් වූවෝ දවස් තුනහමාරක් ඔවුන්ගේ මළකඳන් දෙස බලා හිඳිමින්, ඒවා සොහොනක තැන්පත් කරන්නට ඉඩ නො දෙනු ඇත.</verse>
				<verse number="10">මෙම දිවැසිවරුන් දෙදෙනා පොළොවේ වාසය කරන්නන්ට වධ දී තිබූ හෙයින්, පොළොවේ වාසය කරන්නන් ඔවුන් ගැන ප්‍රීති වෙමින්, විනෝද වෙමින්, එකිනෙකාට තෑගි යවනු ඇත.</verse>
				<verse number="11">එහෙත්, ඒ දවස් තුනහමාරට පසු, දෙවියන්වහන්සේගෙන් ජීවන හුස්ම ඔවුන් තුළට ඇතුළු වුණෙන්, ඔවුහු දෙපයින් නැගී සිටගත්හ; ඒ දුටුවන් පිට මහා භීතියක් පතිත විය.</verse>
				<verse number="12">එවිට ස්වර්ගයෙන් උස් කටහඬක්, “මෙහි නැගී එන්නැ” යි කියනු ඔවුනට ඇසිණි. එවිට ඔවුන් වලාකුළකින් ස්වර්ගයට නැගී ගියේ, ඔවුන්ගේ සතුරන් බලා සිටියදීම ය.</verse>
				<verse number="13">ඒ පැයේදීම තදබල භූමිකම්පාවක් විය. නගරයෙන් දහයෙන් කොටසක් ඉන් බිඳ වැටිණි. හත්දහසක ජනතාවක් භූමිකම්පාවෙන් මළහ. ඉතිරි වූවෝ භීතියට පත්ව, ස්වර්ගයේ දෙවියන්වහන්සේට මහිමය දුන්හ.</verse>
				<verse number="14">දෙවන දුක පසු විය. මෙන්න! තුන් වන දුක විගසින් පැමිණේ.</verse>
				<verse number="15">හත්වන දේව දූතයා තම හොරණෑව පිම්බේ ය, එවිට ස්වර්ගයේ උස් කටහඬවලින් මෙසේ පැවසිණ: “ලෝකයේ රාජධානිය අප ස්වාමින්වහන්සේගේ ද, උන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේගේ ද රාජධානිය බවට පත් විය, උන්වහන්සේ සදහට ම, සදාතනයට ම රජකම් කරන සේක.”</verse>
				<verse number="16">එවිට දෙවියන්වහන්සේ ඉදිරියේ ඔවුන්ගේ සිංහාසන මත හිඳ සිටි වැඩිමහල්ලන් විසිහතර දෙනා තම මුහුණු බිම ඔබා, වැඳ වැටී දෙවියන්වහන්සේට නමස්කාර කරමින්,</verse>
				<verse number="17">මෙසේ පැවසූහ: “අපි ඔබට ස්තුති දෙන්නෙමු, සිටින්නා වූ, සිටියා වූ, සියලු බලැති ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්ස, මන්ද ඔබ, ඔබගේ මහත් බලය ගෙන, රජකම් කිරීමට පටන් ගත් සේක;</verse>
				<verse number="18">ජාතීහු කෝප වූහ, එහෙත් ඔබගේ උදහස පැමිණියේ ය. මළවුන් විනිශ්චය කිරීමේත්, ඔබගේ දිවැසිවරුන් හා ඔබගේ ශුද්ධවතුන් වන ඔබගේ සේවකයින්ට ද ඔබගේ නාමයට බය-පක්ෂ ලොකු කුඩා සැමට ද, ඉටු විපාක දීමේත්, පොළොව විනාශ කරන්නවුන් විනාශකිරීමේත් කාලය පැමිණ තිබේ.”</verse>
				<verse number="19">එවිට ස්වර්ගයේ වූ දෙවියන්වහන්සේගේ මාලිගය විවර කරන ලදී. උන්වහන්සේගේ ගිවිසුම් කරඬුව දේව මාලිගය ඇතුළත පෙනෙන්නට තිබිණි. එවිට විදුලි අකුණු ද ශබ්ද රාව ද මේඝ ගර්ජනා ද පොළෝ කම්පාවක් හා මහා ගල් වර්ෂාවක් ද ඇති විය.</verse>
			</chapter>
			<chapter number="12">
				<verse number="1">මහා ලකුණක් අහසේ පෙනෙන්නට විය. එනම්, හිරුගෙන් සැරසී, සඳු තම පා යට ඇතුව, තරු දොළොහකින් යුතු ඔටුන්නක් හිස පැලඳි ස්ත්‍රියකි.</verse>
				<verse number="2">ගැබ්බරව සිටි ඕ, ප්‍රසූතිය ළං වූ බැවින් විළි රුදාවෙන් කෑ මොර දුන්නා ය.</verse>
				<verse number="3">එවිට තවත් ලකුණක් අහසේ දිස්විය. මෙන්න! හිස් හතක් හා අං දහයක් ද තම හිසෙහි කිරීට හතක් ද දැරූ දැවැන්ත රතු මකරෙක්!</verse>
				<verse number="4">උගේ වලිගය, අහසේ තරුවලින් තුනෙන් එකක් ඇද, පොළොවේ හෙළී ය. ඇගේ දරුවා බිහිවූ කෙණෙහි ඔහු ගිල දමන පිණිස මකරා, දරු ප්‍රසූතියට ළංව සිටි ස්ත්‍රිය ඉදිරියේ රැක සිටියේ ය.</verse>
				<verse number="5">ඕ පිරිමි දරුවකු, යදණ්ඩකින් සියලු ජාතීන් මතු ආණ්ඩු කරන පුතකු බිහි කළා ය. එහෙත් ඇගේ දරුවා දෙවියන්වහන්සේ වෙතත්, උන්වහන්සේගේ සිංහාසනය වෙතත් ඇදගනු ලැබී ය.</verse>
				<verse number="6">ස්ත්‍රිය, පාළුකරයට පලා ගියා ය; එය, එක්දහස් දෙසියහැට දවසක් ඇය නඩත්තු කරන ලබන පිණිස, දෙවියන්වහන්සේ විසින් ඇයට පිළියෙල කරදෙන ලද ස්ථානයකි.</verse>
				<verse number="7">තවද ස්වර්ගයේ යුද්ධයක් හට ගත්තේ ය. මිකායෙල් හා ඔහුගේ දූතයෝ මකරාට එරෙහිව සටන් වැදුණහ. මකරා හා උගේ දූතයෝ ප්‍රති ප්‍රහාර දුන්හ.</verse>
				<verse number="8">එහෙත් ඌ පැරදුණේ ය. තවදුරටත් ස්වර්ගයේ ඔවුන්ට තැනක් නො වීය.</verse>
				<verse number="9">ඒ මහ මකරා පහළට හෙළා දමනු ලැබී ය; මුළු ලෝකයේම රවටන්නා වූ යක්ෂයා හෙවත් සාතන් නමින් හැඳින් වූ ඒ පුරාණ සර්පයා පොළොවට හෙළා දමනු ලැබී ය. උගේ දූතයෝ ද ඌ සමඟ හෙළා දමනු ලැබූහ.</verse>
				<verse number="10">එවිට උස් හඬින් මෙසේ කියන කටහඬක් ස්වර්ගයෙන් මට ඇසිණි: “අපේ දෙවියන්වහන්සේගේ ගැලවීම ද, බලය හා රාජ්‍යය ද, උන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේගේ ආධිපත්‍යය ද දැන් පැමිණ ඇත. මන්ද අපේ දෙවියන්වහන්සේ ඉදිරියේ දිවා රැයේ චෝදන නගනා, අපේ සහෝදරයින්ගේ චෝදකයා, පහළට හෙළනු ලැබ ඇත.</verse>
				<verse number="11">බැටළු පැටවාණන්ගේ ලේ මඟින් හා තම සාක්ෂියේ වචනය මඟින්, ඔවුහු ඔහුගෙන් ජය ගත්හ. තවද, ඔවුන් මරණය දක්වාම, තමන්ගේ ජීවිතවලට ප්‍රේම කළේ නැත.</verse>
				<verse number="12">එබැවින් එම්බා ස්වර්ගයෙනි, ඒවායේ වෙසෙන සියල්ලෙනි, ප්‍රීතිවන්න. එහෙත්, එම්බා පොළොව හා මුහුද, නුඹලාට දුක් වේ! මන්ද යක්ෂයා මහා උදහසකින්, නුඹලා වෙත බැස ඇවිදින් ය. මන්ද තමාගේ කාලය කෙටි වග ඌ දන්නා බැවිනි.”</verse>
				<verse number="13">තමන් පොළොවට පහත හෙළනු ලැබ ඇති බැව් දුටු මකරා, පිරිමි දරුවා බිහි කළ ස්ත්‍රිය ලුහුබැන්දේ ය.</verse>
				<verse number="14">පාළුකරයේ ඇයගේ ස්ථානයට සර්පයා වෙතින් පියඹා යා හැකි වන පිණිස, මහා රාජාලියාගේ පියාපත් දෙක ස්ත්‍රියට දෙනු ලැබී ය. එහිදී කාලයකටත්, කාලවලටත්, අඩ කාලයකටත් ඕ නඩත්තු කරනු ලබන්නී ය.</verse>
				<verse number="15">එවිට සර්පයා, ස්ත්‍රියට පිටුපසින් ගංගාවක් සේ ජලය උගේ කටින් පිට කර හැරියේ, ඒ ජල ප්‍රවාහයෙන් ඇය ගසාගෙන යනු පිණිස ය.</verse>
				<verse number="16">එහෙත් පොළොව, ස්ත්‍රියගේ පිහිටට පැමිණ, කට ඇර, මකරා උගේ කටින් වැගුරූ ගංගාව ගිල්ලා ය.</verse>
				<verse number="17">එවිට මකරා, ස්ත්‍රී කෙරේ කුපිතව, දෙවියන්වහන්සේගේ නියෝග පිළිපදින, යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන ඇගේ වංශයේ ඉතිරි අය හා යුද්ධ කරන්නට ගියේ ය.</verse>
			</chapter>
			<chapter number="13">
				<verse number="1">මකරා මුහුදු වැල්ලේ සිට ගත්තේ ය. එවිට, මෘගයකු මුහුදින් නැගී එනවා මම දුටිමි. ඌට අං දහයක් හා හිස් හතක් ද උගේ අංවල කිරීට දහයක් ද ඒ එක් එක් හිසෙහි දේවාපහාසික නාමයක් ද විය.</verse>
				<verse number="2">මා දුටු මෘගයා දිවියකුට සමාන ය. උගේ පාද, වලසකුගේ වැනි ය; උගේ කට, සිංහයකුගේ කට වැනි ය. මකරා තම බලයත්, තම සිංහාසනයත්, මහා ආධිපත්‍යයත් ඌට දුන්නේ ය.</verse>
				<verse number="3">උගේ හිස්වලින් එකක මාරක තුවාලයක් තිබුණාක් මෙන් පෙනුනත්, ඒ මාරක තුවාලය සුව වී තිබිණි. මුළු පොළොව මවිතව මෘගයා පස්සේ ගියහ.</verse>
				<verse number="4">මකරා තම ආධිපත්‍යය මෘගයාට දී තිබූ නිසා, ඔවුහු මකරාට නමස්කාර කළහ. ඔවුහු මෘගයාට නමස්කාර කරමින්, “මෘගයාට සමාන කවුරු ද? ඌට විරුද්ධව යුද්ධ කළ හැක්කේ කවරකුට දැ?” යි කීහ.</verse>
				<verse number="5">අහංකාර හා දේවාපහාසික වචන පැවසීමේ මුඛයක් හා මාස හතළිස්දෙකක් අධිපතිකම් පෑමේ වරය මෘගයාට දෙනු ලැබී ය.</verse>
				<verse number="6">දෙවියන්වහන්සේට අපහාස කරන පිණිස, උන්වහන්සේගේ නාමයට හා උන්වහන්සේගේ වාසස්ථානය වන ස්වර්ගවාසීන්ට අපහාස කරන පිණිස, ඌ උගේ කට ඇරියේ ය.</verse>
				<verse number="7">ශුද්ධවතුනට එරෙහිව යුද්ධ කිරීමට හා ඔවුන් පරාජය කිරීමට මෘගයාට බලය දෙන ලදී. තවද ගෝත්‍ර, ජනයා, භාෂා හා ජාතීන් යන හැමට ඉහළින් ඌට ආධිපත්‍යය දෙන ලදී.</verse>
				<verse number="8">පොළෝ වාසී සියල්ලෝ, එනම් ලොව මැවූ තැන් පටන් මරා දමන ලද බැටළු පැටවාණන්ගේ ජීවන පොතේ නම් ලියනු නො ලැබූවෝ මෘගයාට නමස්කාර කරති.</verse>
				<verse number="9">කන් ඇති තැනැත්තා අසාවා!</verse>
				<verse number="10">“යමෙක් වහල්කමට යෑමට නියම නම්, වහල්කමටම ඔහු යන්නේ ය. යමෙක් කඩුවෙන් මරනු ලබන්නට වේ නම්, කඩුවෙන්ම ඔහු මරනු ලැබිය යුතු ය.” මෙය, ශුද්ධවතුන්ගේ ඉවසීමත්, ඇදහිල්ලත් සඳහා කැඳවීමකි.</verse>
				<verse number="11">ඉන්පසු තවත් මෘගයකු පොළොවෙන් මතු වී එනු මම දුටිමි. බැටළු පැටවකුගේ වැනි අං දෙකක් ඌට තිබිණ. එහෙත් ඌ මකරකු මෙන් කතා කළේ ය.</verse>
				<verse number="12">ඌ, පළමු මෘගයාගේ මුළු ආධිපත්‍යය ඌ ඉදිරියේ අභ්‍යාස කරමින්, මාරක තුවාලයෙන් සුවය ලැබ සිටි පළමු මෘගයාට පොළොව ද එහි වාසීන් ද නමස්කාර කරවී ය.</verse>
				<verse number="13">තවද ඌ, මිනිසුන් ඉදිරියේ අහසින් පොළොවට ගිනි බැස්සවීමට තරම් මහත් වූ හාස්කම් ලකුණු ගෙන හැර පෑවේ ය.</verse>
				<verse number="14">කඩු පහරින් තුවාල ලද මුත්, තවමත් ජීවත් වූ මෘගයාගේ පිළිමයක් සාදන්නට කීමෙන්, පළමු මෘගයා උදෙසා සිදු කරන්නට බලය ලැබ තිබූ හාස්කම් ලකුණුවලින් ඌ පොළෝ වාසීන් රැවටී ය.</verse>
				<verse number="15">තවද පළමු මෘගයාගේ රූපයට කතා කරන්නට හැකි වන පිණිස හා මෘගයාගේ පිළිම රූපයට නමස්කාර නො කරන්නන් මරා දමනු ලබන පිණිස, මෘගයාගේ රූපයට පණ දෙන්නට ද ඌට බලය දෙන ලදී.</verse>
				<verse number="16">තවද ඌ, උසස්, පහත්, දුප්පත්, පොහොසත්, වහල්, නිවහල් යන හැමට ඔවුන්ගේ දකුණු අතේ හෝ නළලේ හෝ සලකුණක් ලබන්නට සැලැස්වී ය.</verse>
				<verse number="17">එසේ කළේ, මෘගයාගේ නාමය හෝ උගේ නමේ අංකය වන ඒ සලකුණ ඇතොත් මිස, මිලට ගැණුම් හෝ විකුණුම් හෝ කිසිවකුටත් කළ නො හැකි වන පිණිස ය.</verse>
				<verse number="18">ප්‍රඥාව අවශ්‍ය මෙහිදී ය. වැටහීම ඇත්තා, මෘගයාගේ අංකය ගණන් කරත්වා. මන්ද එය මිනිසකුගේ අංකයකි. උගේ අංකය හයසිය හැටහය ය.</verse>
			</chapter>
			<chapter number="14">
				<verse number="1">ඉන්පසු මම බැලුවෙමි. එවිට මෙන්න! සියොන් කන්ද මත බැටළු පැටවාණන් හා උන්වහන්සේ සමඟ 144,000 දෙනකු සිටගෙන සිටිනු දුටිමි; ඔවුන්ගේ නළල්හි බැටළු පැටවාණන්ගේ නාමය හා උන්වහන්සේගේ පියාණන්වහන්සේගේ නාමය ලියා තිබිණි.</verse>
				<verse number="2">තවද මහ ජල ඝෝෂාවක වැනි හඬක් හා මහ ගිගුරුමක ශබ්දයක් වැනි කටහඬක් ස්වර්ගයෙන් මට ඇසිණි. මට ඇසුණු ඒ කටහඬ, වීණා වයන්නන් ඔවුන්ගේ වීණා වයන හඬ වැන්න.</verse>
				<verse number="3">ඔවුහු සිංහාසනය ඉදිරියේ ද ජීවමාන සත්වයින් හතරදෙනා ඉදිරියේ හා වැඩිමහල්ලන් ඉදිරියේ ද අලුත් ගීයක් ගායනා කළහ. පොළොවෙන් මුදා ගනු ලැබ සිටි එක්ලක්ෂ හතළිස්හතර දහස් දෙනාට හැර, අන් කිසිවකුටත් ඒ ගීතය ඉගෙන ගත නො හැකි විය.</verse>
				<verse number="4">ස්ත්‍රීන් වෙතින් තමන් කිලිටි කර නො ගත්තෝ ඔවුහු ය. මන්ද ඔවුහු බ්‍රහ්මචාරීහු ය. බැටළු පැටවාණන් යන කොතැනක වුව, උන්වහන්සේ අනුව යන්නෝ ඔවුහු ය. දෙවියන්වහන්සේට හා බැටළු පැටවාණන්ට නාඹුල් පල වන පිණිස, මොවුහු මිනිස් වර්ගයා වෙතින් මිලක් ගෙවා මුදා ගනු ලැබුවාහු වෙති.</verse>
				<verse number="5">ඔවුන්ගේ මුවෙහි කිසි මුසාවක් හමු නො වීය. මන්ද ඔවුහු දෝෂයෙන් තොර ය.</verse>
				<verse number="6">ඉන්පසු වෙනත් දේව දූතයකු, පොළොවේ වෙසෙන හැම ජාතියකට, හැම ගෝත්‍රයකට, හැම භාෂාවකට හා හැම ජනතාවකට ප්‍රකාශ කරන්නට සදාතන ශුභාරංචියක් ඇතිව අහස මැද පියාසර කරනු මම දැක්කෙමි.</verse>
				<verse number="7">ඔහු උස් හඬින් කතා කොට, “දෙවියන්වහන්සේට බය වන්න; උන්වහන්සේට මහිමය දෙන්න. මන්ද උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමිණ ඇත. අහස, පොළොව, මුහුද හා ජල උල්පත් මැවූ තැනැන්වහන්සේට නමස්කාර කරන්නැ” යි කී ය.</verse>
				<verse number="8">දෙවන දේව දූතයෙක් ඔහු අනුව යමින්, “ඇගේ ලිංගික දුරාචාර කෝපයේ මිදි යුෂ සියලු ජාතීනට බීමට සැලසූ ඒ මහා බබිලෝනිය ඇද වැටිණි; ඇද වැටිණි” යි පැවසී ය.</verse>
				<verse number="9">තුන් වන දේව දූතයෙක් ද ඔවුන් අනුව යමින්, උස් හඬින්, “යමෙක් මෘගයාටත්, උගේ රූපයටත් නමස්කාර කරයි නම්, තම නළලේ හෝ අතේ හෝ උගේ සලකුණ ලබයි නම්,</verse>
				<verse number="10">දෙවියන්වහන්සේගේ කෝපයේ කුසලාන අමිශ්‍රව වත් කරන ලද උන්වහන්සේගේ උදහසේ මිදි යුෂ ඔහු ද බොනු ඇත. ශුද්ධ දේව දූතයින් ඉදිරියේ හා බැටළු පැටවාණන් ඉදිරියේ, ගින්නෙන් හා ගෙන්දගමින් ඔහුට වධ දෙනු ඇත.</verse>
				<verse number="11">ඔවුන්ගේ වධ වේදනාවේ දුම සදහට ම, සදාතනයට ම උඩට නැගෙයි. මෘගයාටත්, උගේ පිළිමයටත් නමස්කාර කරන්නන් වන උගේ නමේ සලකුණ ලබන්නන්ට දිවා හෝ රැයේ හෝ නිස්කලංකයක් නො ලැබේ.”</verse>
				<verse number="12">දෙවියන්වහන්සේගේ ආඥා රක්ෂා කරන, යේසුස්වහන්සේ තුළ ඇදහිල්ලෙන් සිටින ශුද්ධවතුන්ට ඉවසා සිටීමේ ඇමතුමකි මේ.</verse>
				<verse number="13">ඉන්පසු මෙසේ කියන කටහඬක් ස්වර්ගයෙන් මට ඇසිණි. “මෙසේ ලියන්න: ස්වාමින්වහන්සේ තුළ මෙතැන් පටන් මිය යන මළවුන් භාග්‍යවත් ය.” ආත්මයාණන්වහන්සේ ද “ඒ එසේම යැ” යි කියන සේක. “ඔවුන් තමන්ගේ වෙහෙසින් විශ්‍රාම ලබනු ඇත. මන්ද ඔවුන්ගේ ක්‍රියා ඔවුන් අනුව යනු ඇතැ” යි කියන සේක.</verse>
				<verse number="14">ඉන්පසු මෙන්න! සුදු වලාකුළක් සහ ඒ වලාව පිට හිඳගත් මනුෂ්‍ය පුත්‍රයකු වැනි කෙනෙක් දුටිමි. ඔහු හිසේ රන් ඔටුන්නක් හා අතේ මුවහත් දෑකැත්තක් ඇතිව සිටියේ ය.</verse>
				<verse number="15">තවත් දේව දූතයෙක්, දේව මාලිගයෙන් පිටතට පැමිණ, වලාකුළ මත හිඳ සිටි තැනැත්තාණන්ට උස් හඬින් කතා කර, “ඔබගේ දෑකැත්ත යොදා, අස්වැන්න කපන්න; මන්ද පොළොවේ අස්වැන්න හොඳටම පැහී තිබෙන බැවින්, අස්වැන්න කපන කාලය පැමිණ ඇතැ” යි කීවේ ය.</verse>
				<verse number="16">එවිට වලාකුළ මත හිඳ හුන් තැනැත්තාණෝ තම දෑකැත්ත පොළොවට හෙළූ සේක; පොළොවේ අස්වැන්න නෙළනු ලැබී ය.</verse>
				<verse number="17">තවත් දේව දූතයෙක් ස්වර්ගයේ දේව මාලිගයෙන් පිටතට ආවේ ය. ඔහුට ද මුවහත් දෑකැත්තක් තිබිණි.</verse>
				<verse number="18">ගින්න බාරව සිටි වෙනත් දේව දූතයෙක් පූජාසනය වෙතින් අවුත්, මුවහත් දෑකැත්ත ඇතිව සිටි දේව දූතයාට උස් හඬින් කතා කර, “ඔබගේ දෑකැත්ත යොදා පොළොවේ මිදි වැලේ මිදි පොකුරු රැස් කරන්න; මන්ද එහි මිදි පල ඉදිලා” යි කීවේ ය.</verse>
				<verse number="19">එවිට දේව දූතයා පොළොව පිට තම දෑකැත්ත යොදා, එහි මිදි පල අස්වැන්න රැස් කොට, දේව උදහසේ මිදි මඩින මහා මෝලට ඒවා හෙළී ය.</verse>
				<verse number="20">ඒ මිදි මෝල නගරයෙන් පිටතදී මඩිනු ලැබී ය. එවිට අශ්වයකුගේ කටකලියාවක තරම් උසට, පර්ලොං එක්දහස් හයසියයක් දුරට ඒ මෝලෙන් ලේ ගලා ගියේ ය.</verse>
			</chapter>
			<chapter number="15">
				<verse number="1">මහ විස්මිත තවත් ලකුණක් අහසේ මම දුටුවෙමි: ඒ, වසංගත හතක් රැගත් දේව දූතයින් හත් දෙනෙකි; ඒවා අවසන් ඒවා ය; මන්ද ඒවායින් දෙවියන්වහන්සේගේ උදහස සම්පූර්ණ වන්නේ ය.</verse>
				<verse number="2">ගින්දර මිශ්‍ර වීදුරු සාගරයක පෙනුම වැනි වූවක් ද මෘගයාත්, උගේ පිළිමයත්, උගේ නමේ අංකයත් පරදා ජය ගත් අය දෙවියන්වහන්සේගේ වීණා අතැතිව, ඒ සයුර පසෙක සිටගෙන සිටිනු ද මම දුටුවෙමි.</verse>
				<verse number="3">ඔවුහු දෙවියන්වහන්සේගේ සේවක මෝස‍ෙස්ගේ ගීතය හා බැටළු පැටවාණන්ගේ ගීතය ගයමින් මෙසේ පැවසූහ: “සියලු බලැති දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්ස, හරි උදාර ය, විස්මිත ය, ක්‍රියා ඔබගේ. ජාතීන්ගේ රජ්ජුරුවනි, යුක්තිය ය, සත්‍යය ය, මාර්ග ඔබගේ.</verse>
				<verse number="4">කවුරු ඔබට බය නො වෙත් ද? ඔබේ නමට මහිමය නො දේ ද? අහෝ ස්වාමින්වහන්ස, මන්ද ඔබවහන්සේ පමණක් ශුද්ධ ය; සියලු ජාතීන් පැමිණ, ඔබට නමස්කාර කරනු ඇත; මන්ද ඔබගේ ධර්මිෂ්ඨ ක්‍රියා, එළිදරවු කරනු ලැබ ඇත.”</verse>
				<verse number="5">මෙයින් පසු මම බැලුවෙමි; එවිට ස්වර්ගයේ සාක්ෂි මණ්ඩපයේ ශුද්ධස්ථානය ඇරී තිබිණි.</verse>
				<verse number="6">පවිත්‍ර, දිළිසෙන හණ ඇඳුම් හැඳ, තම ළය වටා රන් පටි බැඳ, වසංගත හත රැගත් දේව දූතයින් හත්දෙනා ශුද්ධ ස්ථානයෙන් පිටතට ආහ.</verse>
				<verse number="7">එවිට ජීවමාන සත්වයින් හතර දෙනාගෙන් කෙනෙක්, සදාතනයෙන් සදාතනයට ජීවත් වන දෙවියන්වහන්සේගේ උදහසින් පිරුණු රන් පාත්‍ර හතක් දේව දූතයින් හත් දෙනාට දුන්නේ ය.</verse>
				<verse number="8">දෙවියන්වහන්සේගේ තේජෝ මහිමයෙන් හා උන්වහන්සේගේ බලය වෙතින් ආ දුමාරයෙන් ශුද්ධස්ථානය පිරී ගියේ ය. දේව දූතයින් හත් දෙනාගේ වසංගත හත සම්පූර්ණ කරන තෙක් කිසිවකුටත් ශුද්ධස්ථානයට ඇතුළු වීමට නුපුළුවන් විය.</verse>
			</chapter>
			<chapter number="16">
				<verse number="1">ඉන්පසු දේව මාලිගයේ සිට උස් කටහඬකින්, දේව දූතයින් හත්දෙනා අමතා, “යන්න; දෙවියන්වහන්සේගේ උදහසේ පාත්‍ර හත පොළොව පිට වගුරන්නැ” යි කියනු මට ඇසිණි.</verse>
				<verse number="2">එබැවින් පළමු දේව දූතයා ගොස්, තම පාත්‍රය පොළොව පිට වැගිරවී ය. එවිට මෘගයාගේ සලකුණ දැරූ, උගේ පිළිමයට නමස්කාර කළවුන් පිට පිළිකුල්, වේදනාකාරී වණ හට ගැනිණි.</verse>
				<verse number="3">දෙවන දේව දූතයා තම පාත්‍රය මුහුද පිට වැගිරවී ය. එවිට එය මළ මිනියක ලේ මෙන් විය. මුහුදේ වූ පණ ඇති සියල්ල මළහ.</verse>
				<verse number="4">තුන් වන දේව දූතයා තම පාත්‍රය ගංගා හා ජල උල්පත් පිට වැගිරවී ය; ඒවා ලෙයට හැරිණ.</verse>
				<verse number="5">එවිට ජලයට අධිපති දේව දූතයා මෙසේ කියනු මට ඇසිණි: “ඔබ සාධාරණ ය, සිටින්නා වූ, සිටියා වූ අහෝ ශුද්ධ තැනැන්වහන්ස, මන්ද ඔබවහන්සේ මෙම විනිශ්චයන් ගෙනා සේක.</verse>
				<verse number="6">මන්ද ඔවුන් ශුද්ධවතුන්ගේත්, දිවැසිවරුන්ගේත් ලේ හැලූ බැවින්, ඔබ, ඔවුනට බීමට ලේ දුන් සේක. ඔවුන්ට සුදුසු එයම ය.”</verse>
				<verse number="7">එවිට පූජාසනයෙන් මෙසේ කියනු මට ඇසිණ: “එසේය, සියලු බලැති දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්ස, ඔබගේ විනිශ්චයන් සත්‍ය ය, සාධාරණ ය.”</verse>
				<verse number="8">හතර වන දේව දූතයා තම පාත්‍රය හිරු පිට වැගිරවී ය. ගින්නෙන් මිනිසුන් මතු පිටින් දවාලීමට ඊට බලය දෙන ලදී.</verse>
				<verse number="9">දැඩි තාපයෙන් දවනු ලැබූ කල, ඔවුහු එම වසංගත කෙරේ බලය තිබූ දෙවියන්වහන්සේට ශාප කළහ. ඔවුන් පසුතැවිලි වුණේ නැත; උන්වහන්සේට මහිමය දුන්නේ ද නැත.</verse>
				<verse number="10">පස් වන දේව දූතයා තම පාත්‍රය මෘගයාගේ සිංහාසනය මත වැගිරවී ය. එවිට උගේ රාජධානිය අන්ධකාරයේ ගිල්වනු ලැබිණ. මිනිස්සු වේදනාවෙන් තම දිව් විකා ගත්හ.</verse>
				<verse number="11">ඔවුහු තම වේදනා හා වණ නිසා ස්වර්ගයේ දෙවියන්වහන්සේට ශාප කළා මිස තම ක්‍රියා ගැන පසුතැවිලි නො වූහ.</verse>
				<verse number="12">හයවැනි දේව දූතයා තම පාත්‍රය යුප්‍රටීස් මහ ගංගාව පිට වැගිරවී ය. එවිට පෙරදිගින් එන රජුන් සඳහා මාවත පිළියෙල වන පිණිස, ගඟේ ජලය සිඳී ගියේ ය.</verse>
				<verse number="13">එවිට මැඩියන් සේ පෙනුමැති අපවිත්‍ර ආත්ම තුන් දෙනෙක්, මකරාගේ කටින් ද මෘගයාගේ කටින් ද බොරු දිවැසිවරයාගේ කටින් ද නික්ම එනු මම දුටිමි.</verse>
				<verse number="14">මන්ද ඔවුහු හාස්කම් ලකුණු දක්වන යක්ෂාත්මයෝ ය; සියලු බලැති දෙවියන්වහන්සේගේ මහා දවසේ යුද්ධය සඳහා රජුන් රැස් කරන්නට මුළු ලොව පුරා ඔවුන් වෙත යන්නේ මොවුන් ය.</verse>
				<verse number="15">“මෙන්න, මම සොරෙකු මෙන් එන්නෙමි! නිරුවතින් ගොසින්, ලජ්ජාව ප්‍රදර්ශන නො වන පිණිස, තම ඇඳුම් හැඳ, අවදිව සිටින්නා භාග්‍යවත් ය.”</verse>
				<verse number="16">හෙබ්‍රෙව් බසින් හාර්මගෙද්දෝන් යයි හැඳින්වෙන ස්ථානයට ඔවුහු රජුන් එක්රැස් කළෝ ය.</verse>
				<verse number="17">හත්වන දේව දූතයා තම පාත්‍රය අහසේ වැගිරවී ය. එවිට උස් කටහඬකින්, “එය නිම විණැ” යි සිංහාසනයේ සිට කියනු දේව මාලිගයෙන් මට ඇසිණි.</verse>
				<verse number="18">එවිට විදුලි අකුණු ද ශබ්ද රාව ද මේඝ ගර්ජනා ද දරුණු පොළෝ කම්පාවක් ද විය. මිනිසා පොළොවෙහි වූ දා පටන් කවර කලෙකවත් එවන් පොළෝ කම්පාවක් සිදුව නැත. ඒ සා සැහැසි විණි ඒ පොළෝ කම්පාව.</verse>
				<verse number="19">මහා පුරවරය තුන් කොටසකට පැළිණි. ජාතීන්ගේ නගර බිඳ වැටිණි. ස්වකීය දේව උදහසේ භයංකරත්වය නැමති මිදි යුෂ පිරි කුසලාන, ඇයට බොන්නට දෙන පිණිස, දෙවියන්වහන්සේ මහා බබිලෝනිය සිහි කළ සේක.</verse>
				<verse number="20">හැම දිවයිනක්ම ඉවත පලා ගියේ ය. කඳු නො පෙනී ගියේ ය.</verse>
				<verse number="21">මහ ගල් වැස්සක් අහසේ සිට මිනිසුන් මත පතිත විය. ඒ එක ගලක් තලෙන්තයක් පමණ බර ය. එම ගල් වැසි වසංගතය හේතු කොට ඔවුහු දෙවියන්වහන්සේට ශාප කළහ. ඒ වසංගතය ඒ සා සැහැසි විණි.</verse>
			</chapter>
			<chapter number="17">
				<verse number="1">පාත්‍ර හත ඇතිව සිටි දේව දූතයින් හත්දෙනාගෙන් කෙනෙක් අවුත්, මා අමතමින්, “එන්න; බොහෝ ජල මත හිඳ සිටින මහ වේශ්‍යාවගේ දඬුවම මම ඔබට පෙන්වන්නම්.</verse>
				<verse number="2">ඇය සමඟ පොළොවේ රජුන් ලිංගික අනාචාරයේ ගැලුණ අතර පොළෝ වාසීන් ඇගේ සරාගික මිදි යුෂයෙන් බීමත්ව ඇතැ” යි පැවසී ය.</verse>
				<verse number="3">ඉන්පසු ඔහු ආත්මයාණන් තුළ කාන්තාරයට මා ගෙන ගියේ ය. එවිට හිස් හතක් හා අං දහයක් තිබූ, අපහාසික නාමවලින් පිරී සිටි තද රතු පැහැති මෘගයකු පිට හිඳ සිටින ස්ත්‍රියක එහිදී මම දැක්කෙමි.</verse>
				<verse number="4">ඒ ස්ත්‍රිය දම් හා තද රතු ඇඳුම් හැඳ, රන්, මැණික්, හා මුතුවලින් සැරසී සිටියා ය. පිළිකුල්කම්වලින් හා ඇගේ ලිංගික අනාචාර අපවිත්‍රතාවෙන් පිරි රන් කුසලානක් ඇගේ අතේ විය.</verse>
				<verse number="5">ඇගේ නළලේ අබිරහස් නාමයක් ලියා තිබිණි. මහා බබිලෝනිය ය; පොළොවේ වේශ්‍යාවන්ගේ හා පිළිකුල්කම්වල මව ය.</verse>
				<verse number="6">ඇය ශුද්ධවතුන්ගේ ලෙයින්, යේසුස්වහන්සේගේ සාක්ෂිය දැරූවන්ගේ ලෙයින් බීමත්ව සිටිනු මම දුටුවෙමි. ඇය දුටු කල, මම අතිශයින් පුදුම වීමි.</verse>
				<verse number="7">එවිට මා ඇමතූ දේව දූතයා, “ඇයි ඔබ පුදුම වූයේ? ස්ත්‍රිය පිළිබඳ හා ඇය නැගී යන හිස් හතක් හා අං දහයක් ඇති මෘගයා පිළිබඳ අබිරහස මම ඔබට කියන්නම්.</verse>
				<verse number="8">ඔබ දුටු මෘගයා සිටියේ ය; දැන් නැත. එහෙත්, පතුලක් රහිත වළෙන් නැගිට අවුත්, විනාශයට යන්නට ළඟ ය; ලෝකයේ අත්තිවාරමේ පටන් ජීවන පොතේ නාම නො ලියවුණු පොළෝ වාසීහු, මෘගයා දකින කල පුදුමයට පත් වන්නෝ ය. මන්ද ඌ සිටියේ ය; දැන් නැත; එහෙත් මතු එන්නේ ය.</verse>
				<verse number="9">“ප්‍රඥාවන්ත මනසක් අවශ්‍ය මෙහිදී ය. හිස් හත, ස්ත්‍රිය හිඳ සිටින කඳු හත ය.</verse>
				<verse number="10">තවද ඒවා රජවරුන් හත් දෙනෙකි. පස් දෙනෙක් වැටී ගියහ. එක් කෙනෙක් සිටියි. අනෙක් තැනැත්තා තවම පැමිණ නැත. ඔහු පැමිණි කල, මද කලකට පැවත සිටිය යුතු ය.</verse>
				<verse number="11">සිටිය, එහෙත් දැන් නැති මෘගයා අට වැන්නෙකි; හත් දෙනාට අයත්වන්නෙකි. ඔහු විනාශයට යයි.</verse>
				<verse number="12">“ඔබ දුටු අං දහය, තවම රාජ්‍යයක් නො ලද රජවරුන් දහ දෙනෙකි. එහෙත් ඔවුන් මෘගයා සමඟ හවුලේ එක් පැයකට රජුන් වශයෙන් ආධිපත්‍යය ලබනු ඇත.</verse>
				<verse number="13">ඔවුහු එක සිතින් තමන්ගේ බලයත්, ආධිපත්‍යයත් මෘගයාට පවරා දෙති.</verse>
				<verse number="14">ඔවුන් බැටළු පැටවාණන්ට එරෙහිව යුද්ධ කරනු ඇත. එහෙත්, බැටළු පැටවාණෝ ඔවුන්ගෙන් ජය ගන්නාහ. මන්ද උන්වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමියාණෝ ය; රජවරුන්ගේ රජ්ජුරුවෝ ය. උන්වහන්සේ සමඟ සිටින්නේ කැඳවුම් ලැබූ, තෝරාගනු ලැබූ, විශ්වාසනීයයන් යැ” යි පැවසී ය.</verse>
				<verse number="15">ඉන්පසු මා ඇමතූ දේව දූතයා, “වේශ්‍යාව හිඳ සිටිනු ඔබ දුටු ජලය, ජනතාවන් ද ජන සමූහයන් ද ජාතීන් ද භාෂාවන් ද වේ.</verse>
				<verse number="16">ඔබ දුටු අං දහය හා මෘගයා, වේශ්‍යාවට වෛර බඳිනු ඇත. ඔවුන් ඇය පාළුවට යවා, ඇය නිරුවත් කර, ඇගේ මාංස කා දමා, ගින්නෙන් ඇය දවා දමනු ඇත.</verse>
				<verse number="17">මන්ද දෙවියන්වහන්සේගේ වචන සම්පූර්ණ වන තුරු තම අරමුණ ක්‍රියාවට නැංවීම උදෙසා, එක සිතින් තමන්ගේ රාජ්‍ය බලය මෘගයාට පැවරීමට ඔවුන්ගේ හදවත් තුළ තැබුවේ දෙවියන්වහන්සේ ය.</verse>
				<verse number="18">ඔබ දුටු ස්ත්‍රිය, පොළොවේ රජුන් කෙරේ ආධිපත්‍යය දරන මහ පුරවරයැ” යි පැවසී ය.</verse>
			</chapter>
			<chapter number="18">
				<verse number="1">ඉන්පසු තවත් දේව දූතයකු මහත් ආධිපත්‍යයෙන් යුතුව ස්වර්ගයෙන් බැස එනු මම දුටුවෙමි. ඔහුගේ තේජසින් පොළොව දීප්තිමත් විය.</verse>
				<verse number="2">ඔහු බලගතු කටහඬකින් මෙසේ මොර ගැසී ය: “ ‘ඇද වැටිණි! මහ බබිලෝනිය ඇද වැටිණි!’ ඇය යක්ෂාත්මයන්ට වාසස්ථානයක් ද, හැම අපවිත්‍ර ආත්මයකට තිප්පොළක් ද, අපවිත්‍ර, පිළිකුල් සියලු පක්ෂීන්ට තිප්පොළක් ද, අපවිත්‍ර, පිළිකුල් සියලු සතුන්ට තිප්පොළක් ද විය.</verse>
				<verse number="3">මන්ද ඇගේ ලිංගික අපචාර කෝපයේ මිදි යුෂවලින්, සියලු ජාතීහු බීමත් වූහ. පොළොවේ රජවරු ඇය හා පරදාර සේවනයේ ගැලුණහ. පොළොවේ වෙළෙන්දෝ, ඇගේ සුඛෝපභෝගිත්වයේ බලයෙන්, ධනයෙන් වැඩුණහ.”</verse>
				<verse number="4">ඉන්පසු, මෙසේ කියන වෙනත් කටහඬක් ස්වර්ගයෙන් මට ඇසිණි: “මාගේ ජනයිනි, ඇගේ පාපවලට ඔබ හවුල් නො වන පිණිස, ඇගේ වසංගතවලට පංගුකාර නො වන පිණිස, ‘ඇගෙන් පිටතට එන්න,’</verse>
				<verse number="5">මන්ද ඇගේ පාප, අහස උසට ගොඩ ගැසී ඇත, දෙවියන්වහන්සේ ඇගේ අපරාධ සිහි කළ සේක.</verse>
				<verse number="6">අන් අයට ඇය බෙදූ ලෙසට ඇයටත් ආපසු බෙදන්න; ඇගේ ක්‍රියාවලට දෙගුණයකින් ඇයට ආපසු ගෙවන්න. ඈ මිශ්‍ර කළ කුසලානට දෙගුණයක් ඇයට මිශ්‍ර කර දෙන්න.</verse>
				<verse number="7">ඇය තමාම වර්ණනා කර ගනිමින් සුඛ විහරණයෙන් ජීවත් වූ පමණට, එපමණටම ඇයට වධ දෙන්න; ශෝකයට පමුණුවන්න. මන්ද ඇය තම හද තුළ උදාරමින්, ‘මම රැජිනක් සේ හිඳගනිමි; මා වැන්දඹු වන්නේ නැත; කිසි කල ශෝකය දකින්නේ ද නැතැ’ යි කියන්නී ය.</verse>
				<verse number="8">ඒ හේතුව නිසා, මරණය, ශෝකය හා සාගතය යන ඇගේ වසංගත: එකම දවසක පැමිණේ. ගින්නෙන් ඇය දවා දැමේ, මන්ද ඇය විනිශ්චය කරන දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පරාක්‍රමවත් ය.”</verse>
				<verse number="9">“ඇය හා පරදාර සේවනයේ ගැලුණු, ඇය සමඟ සුඛ විහරණයෙන් විසූ පොළොවේ රජවරු ඇය දැවෙන ගින්නේ දුම දකින කල, ඇය ගැන හඬනු ඇත; වැලපෙනු ඇත.</verse>
				<verse number="10">ඇය විඳින වධය ගැන බයින් ඔවුහු දුරින් සිට මෙසේ හඬ නැගූහ: “ ‘අහෝ! අහෝ මහ පුරවරය, අහෝ බබිලෝනිය! බලවත් පුරවරය, නුඹේ විනිශ්චය එක් පැයකින්ම ඇවිල්ලා!’</verse>
				<verse number="11">“පොළොවේ වෙළෙන්දෝ ද තමන්ගේ වෙළඳ බඩු කිසිවකු මිලට නො ගන්නා බැවින් ඇය ගැන හඬති; වැලපෙති.</verse>
				<verse number="12">එම වෙළඳ බඩු නම් රන්, රිදී, මිණි, මුතු භාණ්ඩ ද සිහින් හණ රෙදි, දම් පැහැ ඇඳුම්, පටපිළි හා තද රත් පැහැ රෙදි, සකල වර්ගයේ සුවඳ දැව ද ඇත් දළින්, අධි මිල දැවයෙන්, ලෝකඩින්, යකඩින් හා කිරිගරුඬින් තැනූ විවිධ බඩු භාණ්ඩ ද</verse>
				<verse number="13">කුරුඳු, කුළු බඩු, සුගන්ධ ද්‍රව්‍ය, සුවඳ විලවුන් හා කට්ටකුමංජල් ද මිදි යුෂ හා ඔලීව තෙල් ද සිහින් පිටි හා තිරිඟු ද ගවයින්, බැටළුවන් හා අශ්වයින්, අශ්ව රථ ද මිනිස් වහලුන් හෙවත් මිනිස් ජීවිත ද යන දෑ ය.</verse>
				<verse number="14">“ ‘ඔබ ඉතා ආශා කළ පල, ඔබෙන් දුරු වී ගොසිනි. ඔබගේ සකල සාරයත්, අලංකාරයත් ඔබට අහිමි වී ගොසිනි; ඒවා කිසි කලෙක යළි හමු නො වේ.’</verse>
				<verse number="15">මෙම බඩු වෙළඳාමෙන් ධනවත් වූ වෙළඳුන් ඇය විඳින වධයට බයින්, ඇයගෙන් ඈත්ව සිටගෙන, උස් හඬින් හඬනු ඇත; වැලපෙනු ඇත.</verse>
				<verse number="16">“ ‘දම් පැහැ හා තද රත් පැහැ සිහින් හණ පිළියෙන් ද, රනින්, මැණිකෙන් හා මුතුවලින් ද සැරසුණු, මහා පුරවරය, අහෝ, අහෝ!</verse>
				<verse number="17">එකම එක පැයකින් ඒ සියලු ධනය නැති නාස්ති වී ඇත.’ “සියලු නැව්පතීහු ද මුහුදු ගමන්හි යෙදෙන සැවොම ද නාවිකයින් හා මුහුදින් දිවි රැකගන්නා සැවොම ද ඈත්ව සිටගෙන,</verse>
				<verse number="18">ඇය දැවෙන ගින්නේ දුම දකිද්දී, ‘මේ මහ පුරවරය වැනි පුරවරයක් තවත් වේදෝ?’ යි මොර ගසති.</verse>
				<verse number="19">ඔවුහු තම හිස් මත ධූලි ඉස ගනිමින්, හඬමින්, වැලපෙමින්, මොර ගසමින්, මෙසේ කීහ: “ ‘අහෝ! අහෝ මහා පුරවරය, මුහුදේ නැව් තිබූ සියල්ලෝ, ඇගේ ඉසුරින් ධනවත් වූහ! ඇගේ විනිශ්චය එක් පැයකින්ම පැමිණිලා!’</verse>
				<verse number="20">“එම්බා ස්වර්ගය, ඇය ගැන ප්‍රීතිවන්න! දෙවියන්වහන්සේගේ ජනයෙනි, ප්‍රීතිවන්න! අපෝස්තුලුවරුනි, දිවැසිවරුනි, ප්‍රීතිවන්න! මන්ද දෙවියන්වහන්සේ ඇය ඔබට කළ ලෙස, ඇයට එරෙහිව විනිශ්චය දී ඇත.”</verse>
				<verse number="21">ඉන්පසු බලගතු දේව දූතයෙක්, යෝධ ඇඹරුම් ගලක් වැනි මහ ගලක් ගෙන, එය මුහුදේ හෙළුවේ මෙසේ කියමිනි: “බබිලෝනි මහ පුරවරය බිඳ හෙළනු ලබන්නේ, මේ සා සැහැසි අයුරිනි, කිසි කල යළි එය සම්භ වන්නේ නැත.</verse>
				<verse number="22">වීණා වයන්නන්ගේ, සංගීතඥයින්ගේ නළා වයන්නන්ගේ හා හොරණෑ වාදකයින්ගේ සංගීත නාද, තවදුරටත් නුඹ තුළ ඇසෙන්නේ නැත. කවර වෘත්තියක හෝ කර්මාන්තකරුවකු, තවදුරටත් නුඹ තුළ සම්භ වන්නේ නැත. ඇඹරුම් ගලක හඬ, තවදුරටත් නුඹ තුළ ඇසෙන්නේ නැත.</verse>
				<verse number="23">පහනක එළිය, යළි කිසි දින නුඹ තුළ බැබළෙන්නේ නැත. මනාල මනාලියකගේ හඬ, කිසි දින යළි නුඹ තුළ ඇසෙන්නේ නැත. නුඹේ වෙළෙන්දෝ පොළොවේ ශ්‍රේෂ්ඨයින් වූහ. නුඹේ මන්තරවලින් හැම ජාතියක්ම මුළා කරනු ලැබිණ.</verse>
				<verse number="24">දිවැසිවරුන්ගේ හා ශුද්ධවතුන්ගේ ද පොළොව පිට මරා දමන ලද සැමගේ ද ලේ, ඇය තුළ තිබෙනු සම්භ වීය.”</verse>
			</chapter>
			<chapter number="19">
				<verse number="1">මින් අනතුරුව ස්වර්ගයෙහි මහත් ජන සමූහයකගේ බඳු උස් කටහඬකින් මොර ගසා කියනු මට ඇසිණි: “හාලේලූයා! ගැලවීම, තේජස හා බලය අයිති අප දෙවියන්වහන්සේට ය,</verse>
				<verse number="2">මන්ද උන්වහන්සේගේ විනිශ්චයන් සත්‍යය ය; සාධාරණ ය. මන්ද තම අපචාරවලින් පොළොව දූෂ්‍ය කළ මහා වේශ්‍යාවට, උන්වහන්සේ දඬුවම් කළ සේක. උන්වහන්සේ ස්වකීය සේවකයින්ගේ ලේ ගැන ඇයට විපාක දුන් සේක.”</verse>
				<verse number="3">ඔවුහු නැවතත් මොරහඬ නඟමින්: “හාලේලූයා! ඇගේ දුම සදහටම-සදාතනිකව නැගෙතැ” යි කීහ.</verse>
				<verse number="4">වැඩිමහල්ලන් විසිහතර දෙනා හා ජීවමාන සත්වයින් සතර දෙනා, “ආමෙන්! හාලේලූයා!” කියමින්, සිංහාසනයේ හිඳ හුන් දෙවියන්වහන්සේට වැඳ වැටී, නමස්කාර කළහ.</verse>
				<verse number="5">එවිට සිංහාසනයෙන් පැමිණි කටහඬක් මෙසේ පැවසී ය: “අපේ දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන්න. උන්වහන්සේගේ සියලු සේවකයිනි, උන්වහන්සේට බය, ලොකු කුඩා සියල්ලෙනි,”</verse>
				<verse number="6">ඉන්පසු මහා ජන සමූහයකගේ ද හඬ බඳු වූ, බොහෝ ජල ඝෝෂාවක හා ගිගුරුම් හෙණ හඬක් වැනි කටහඬකින් මෙසේ මොර ගසනු මට ඇසිණි: “හාලේලූයා! මන්ද සියලු බලැති අප දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ රජකම් කරන සේක.</verse>
				<verse number="7">අපි ප්‍රීති වෙමු; ප්‍රමෝද වෙමු. උන්වහන්සේට මහිමය දෙමු. මන්ද බැටළු පැටවාණන්ගේ සරණ මංගල්‍යය පැමිණිලා, එතුමන්ගේ මනාලී තමාම සැරසී සිටින්නී ය.</verse>
				<verse number="8">ඇයට හැඳ ගැනීමට, දීප්තිමත්, පවිත්‍ර, සිහින් හණ පිළි දෙනු ලැබිණි.” (එම සිහින් හණ පිළි ශුද්ධවතුන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා ය.)</verse>
				<verse number="9">එවිට මා ඇමතූ දේව දූතයා, “ ‘බැටළු පැටවාණන්ගේ සරණ මංගල්‍යයේ භෝජනයට ඇරියුම් ලද්දෝ භාග්‍යවත් ය’ කියා ලියන්නැ” යි පැවසී ය. “මේවා දෙවියන්වහන්සේගේ සත්‍ය වචනයැ” යි ද ඔහු පැවසී ය.</verse>
				<verse number="10">එකල ඔහුට නමස්කාර කරන්නට මම ඔහුගේ පාමුල වැටුණෙමි. එහෙත් ඔහු, “එසේ නො කරනු! ඔබත්, යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන ඔබේ සහෝදරයිනුත් සමඟ මා හවුල් සේවකයෙක්. දෙවියන්වහන්සේට නමස්කාර කරනු! මන්ද යේසුස්වහන්සේගේ සාක්ෂිය, දිවැස්වැකිවල ආත්මය යැ” යි පැවසී ය.</verse>
				<verse number="11">ඉන්පසු මා දුටුවේ ස්වර්ගය විවරව තිබෙනු ය; එවිට මෙන්න, සුදු අශ්වයෙක් සිටියේ ය. ඌ පිට හිඳ සිටි තැනැත්තාණන්, “විශ්වාසනීය ය, සත්‍ය ය” යනුවෙන් හඳුන්වනු ලැබිණි. උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන සේක; යුද්ධ කරන සේක.</verse>
				<verse number="12">උන්වහන්සේගේ ඇස් ඇවිළෙන ගිනිසිළු වැන්න. උන්වහන්සේගේ හිසේ බොහෝ ඔටුනු තිබිණි. උන්වහන්සේ මිස අන් කවරකුත් නො දන්න, ලියා ඇති නමක් උන්වහන්සේට තිබිණි.</verse>
				<verse number="13">ලෙයින් පෙඟුණු ලෝගුවක් හඳවනු ලැබ සිටි උන්වහන්සේ හැඳින්වූයේ දෙවියන්වහන්සේගේ වචනය යන නාමයෙනි.</verse>
				<verse number="14">පවිත්‍ර, සුදු සිහින් හණ පිළියෙන් සැරසුණු ස්වර්ගීය හමුදාවෝ සුදු අසුන් පිට නැගී උන්වහන්සේ අනුව ගියෝ ය.</verse>
				<verse number="15">ජාතීන්ට පහර දෙන තියුණු කඩුවක් උන්වහන්සේගේ මුවින් නික්මෙයි. උන්වහන්සේ යදණ්ඩකින් ඔවුන් ආණ්ඩු කරන්නාහ. උන්වහන්සේ සියලු බලැති දෙවියන්වහන්සේගේ උදහසේ භයංකරත්වයේ මිදි යන්ත්‍රයේ මිදි මඩින්නාහ.</verse>
				<verse number="16">උන්වහන්සේගේ ලෝගුවෙහි හා කළවයෙහි, මෙසේ ලියා තිබිණි: රජවරුන්ගේ රජ්ජුරුවෝ ය; ස්වාමිවරුන්ගේ ස්වාමියාණෝ ය.</verse>
				<verse number="17">ඉන්පසු, හිරු මත සිටගෙන සිටිනු මා දුටු දේව දූතයා, අහස මැද පියාසර කරන සියලු පක්ෂීනට උස් හඬින් මොර ගසමින්, “වරෙල්ලා; දෙවියන්වහන්සේගේ මහා භෝජනයට රැස් වෙයල්ලා.</verse>
				<verse number="18">එවිට නුඹලාට රජුන්ගේ මස් ද හමුදාපතීන්ගේ මස් ද බලවතුන්ගේ මස් ද අශ්වයින්ගේ හා අසරුවන්ගේ මස් ද වහල්, නිවහල්, ලොකු, කුඩා යන සියලු මිනිසුන්ගේ මස් ද කන්නට හැකි යැ” යි කීවේ ය.</verse>
				<verse number="19">එවිට අශ්වයා පිට හුන් තැනැත්තාණන්ටත්, උන්වහන්සේගේ සේනාවටත් එරෙහිව යුද්ධ කරන්නට මෘගයා ද පොළොවේ රජුන් ද ඔවුන්ගේ හමුදාවන් ද රැස්ව සිටිනු දුටිමි.</verse>
				<verse number="20">එහෙත් මෘගයා අල්ලා ගනු ලැබිණ. තවද මෘගයාගේ සලකුණ ලැබූ හා උගේ පිළිරුවට නමස්කාර කළවුන් රවටමින් මෘගයා ඉදිරියේ ඌ වෙනුවෙන් හාස්කම් ලකුණු පෑ බොරු දිවැසිවරයා ද අල්ලා ගනු ලැබිණි. ඔවුහු දෙදෙනා පණ පිටින්ම ඇවිළෙන ගෙන්දගමින් යුතු නිරාගිනි විලට හෙළනු ලැබූහ.</verse>
				<verse number="21">සෙසු අය, අසු පිට හිඳ හුන් තැනැත්තාණන්ගේ මුවින් නික්මුණු කඩුවෙන් මරනු ලැබූහ. සියලු පක්ෂීහු ඔවුන්ගේ මාංස, ගිජු ලෙස ගිල දැමූහ.</verse>
			</chapter>
			<chapter number="20">
				<verse number="1">ඉන්පසු දේව දූතයකු පතුලක් රහිත අගාධ වළේ යතුර හා මහත් දම්වැලක් අතේ ඇතිව ස්වර්ගයෙන් බැස එනවා මම දුටුවෙමි.</verse>
				<verse number="2">ඔහු, යක්ෂයා හෙවත් සාතන් වන ඒ පුරාණ සර්පයා හෙවත් මකරා අල්ලා, අවුරුදු දහසකට ඌ බැඳ,</verse>
				<verse number="3">ඒ අවුරුදු දහස ගෙවී යන තෙක් ජාතීන් තවදුරටත් නො රවටන පිණිස, අගාධ වළේ ඌ හෙළා, එය අගුළු ලා, ඒ පිට මුද්‍රා තැබී ය. එයින් පසු, මද කලකට ඌ මුදා හැරිය යුතුව ඇත.</verse>
				<verse number="4">ඉන්පසු මම සිංහාසන දැක්කෙමි; විනිශ්චය සඳහා ආධිපත්‍යය පවරන ලද්දෝ ඒවායේ හිඳ සිටියහ. තවද යේසුස්වහන්සේ උදෙසා වූ සාක්ෂිය නිසාත්, දෙවියන්වහන්සේගේ වචනය නිසාත් හිස් ගසා දමනු ලැබූවන්ගේ ජීවාත්ම මම දුටිමි. ඔවුන් මෘගයාට හෝ උගේ පිළිරුවට හෝ නමස්කාර කර තිබුණේවත්, තමන්ගේ නළලේ හෝ අතේ හෝ උගේ සලකුණ ලබා තිබුණේවත් නැත. ඔවුහු යළි ජීවනයට පැමිණ, ක්‍රිස්තුස්වහන්සේ සමඟ අවුරුදු දහසක් රජකම් කළහ.</verse>
				<verse number="5">සෙසු මළවුන් අවුරුදු දහස නිම වන තෙක් ජීවනයට පැමිණියේ නැත. මෙය පළමු මරණින් නැගිටීම ය;</verse>
				<verse number="6">පළමු මරණින් නැගිටීමට පංගුකාරවූවෝ භාග්‍යවත් ය; ශුද්ධවත් ය! දෙවන මරණයට ඔවුන් කෙරේ කිසිදු බලයක් නැත. ඔවුන්, දෙවියන්වහන්සේගේ හා ක්‍රිස්තුස්වහන්සේගේ පූජකයින් වනු ඇත. ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඔවුන් අවුරුදු දහසක් රජකම් කරනු ඇත.</verse>
				<verse number="7">අවුරුදු දහස ගෙවුණු පසු සාතන් ඔහුගේ සිර ගෙයින් මුදනු ලැබ,</verse>
				<verse number="8">පොළොවේ සතර කොනේ සිටින, ගොග් හා මාගොග් ජාතීන් මුළා කර, ඔවුන් යුද්ධයට රැස් කරන පිණිස පිටත්ව යනු ඇත. ඔවුහු ගණනින් මුහුදු වෙරළේ වැලි හා සම වෙති.</verse>
				<verse number="9">ඔවුහු පොළෝ තලය පුරා පෙළගැසී, ගොස් ශුද්ධවතුන්ගේ කඳවුර හා ප්‍රේමණීය පුරය වටලා ගත්හ. එහෙත්, ස්වර්ගයෙන් ගිනි බැස, ඔවුන් දවාලීය.</verse>
				<verse number="10">ඔවුන් මුළා කළ යක්ෂයා වනාහි මෘගයා හා බොරු දිවැසිවරයා ද සිටින ඇවිළෙන ගෙන්දගම් හා ගිනි විලට හෙළා දමනු ලැබිණි. සදහට ම, සදාතනිකව දිවා රෑ දෙක්හි ඔවුන් වධයට පත් කෙරේ.</verse>
				<verse number="11">ඉන්පසු ධවල මහා සිංහාසනයක් හා එහි වැඩහුන් තැනැන්වහන්සේ දුටිමි. උන්වහන්සේ ඉදිරියෙන් අහසත්, පොළොවත් පලා ගියේ ය. ඒවාට තැනක් සම්භ නො විණි.</verse>
				<verse number="12">තවද ලොකු කුඩා මළවුන් සිංහාසනය ඉදිරියේ සිටගෙන සිටිනවා දුටුවෙමි. පොත් දිග හරිනු ලැබිණි. ජීවනයේ පොත වන තවත් පොතක් දිග හරින ලදී. පොත්වල ලියන ලද දෑ ලෙස, තම තමන් කර තිබූ දෑ අනුව මළාහු විනිශ්චය කරන ලදහ.</verse>
				<verse number="13">මුහුද, එහි වූ මළවුන් බාර දුනි. මරණය හා පාතාලය ද ඒවායේ වූ මළවුන් බාර දුනි. එකිනෙකා කර තිබූ දෑ අනුව හැම කෙනෙක්ම විනිශ්චය කරන ලදහ.</verse>
				<verse number="14">මරණය හා පාතාලය ගිනි විලට හෙළනු ලැබිණ. ගිනි විල දෙවන මරණයයි.</verse>
				<verse number="15">යමකුගේ නම ජීවන පොතේ ලියවී නැති බැව් සම්භ වී ද, ඔහු ගිනි විලට හෙළනු ලැබී ය.</verse>
			</chapter>
			<chapter number="21">
				<verse number="1">ඉන්පසු අලුත් අහසක් ද අලුත් පොළොවක් ද මම දුටිමි. මන්ද පළමු අහසත්, පළමු පොළොවත් පහ වී ගොසිනි; මුහුද තවත් නො වීය.</verse>
				<verse number="2">තම ස්වාමි පුරුෂයාණන් උදෙසා සරසවන ලදුව, මනාලියක සේ සූදානම් කරන ලද ශුද්ධ පුරවරය වන අලුත් යෙරුසලම දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස එනු මම දුටිමි.</verse>
				<verse number="3">එවිට සිංහාසනය වෙතින් මෙසේ කියන උස් කටහඬක් මට ඇසිණි. “මෙන්න! දෙවියන්වහන්සේගේ වාසස්ථානය මිනිසුන් සමඟයි. උන්වහන්සේ ඔවුන් සමඟ වාසය කරනු ඇත. ඔවුන් උන්වහන්සේගේ ජනයා වනු ඇත. ඔවුන්ගේ දෙවියන්වහන්සේ ලෙස දෙවියන්වහන්සේම ඔවුන් සමඟ සිටිනවා ඇත.</verse>
				<verse number="4">උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් කඳුළු හැම පිසදාලනු ඇත. මින් මතු මරණයක් නැත; ශෝක වීමක්, හැඬීමක්, වේදනාවක් ද මින් මතු නැත. මන්ද පළමු දෑ පහව ගොසිණි.”</verse>
				<verse number="5">සිංහාසනයේ හිඳ සිටි තැනැන්වහන්සේ කතා කරමින්, “මෙන්න! මම හැම දෙයක්ම අලුත් කරන්නෙමි” යි පැවසූ සේක; තවද උන්වහන්සේ, “මෙය ලියන්න, මන්ද මේ වචන විශ්වාසනීය ය; සත්‍ය යැ” යි කී සේක.</verse>
				<verse number="6">උන්වහන්සේ මා ඇමතූ සේක්, “ඒවා නිම කෙරිණ. මම අල්ෆා සහ ඔමෙගා වෙමි; ආරම්භය හා අවසානය වෙමි. පිපාසිතයාට මම ජීවන දිය උල්පතින් නොමිලයේ බොන්නට දෙන්නෙමි.</verse>
				<verse number="7">ජයගන්නාට මේ උරුමය ලැබේ. මම ඔහුගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔහු මාගේ පුතණුවන් වනු ඇත.</verse>
				<verse number="8">එහෙත් බියසුල්ලන්, අවිශ්වාසිකයින්, පිළිකුල්කම් කරන්නන්, මිනීමරුවන්, ලිංගික අපචාරීන්, මන්තර ගුරුකම්කරුවන්, පිළිම රූප වඳින්නන් හා සියලු බොරුකරුවන් යන අයට හිමි තැන, ඇවිළෙන ගෙන්දගමින් යුත් ගිනි විලයි. එය දෙවන මරණය යැ” යි පැවසූ සේක.</verse>
				<verse number="9">ඉන්පසු අවසාන වසංගත හතෙන් පිරි පාත්‍ර හත දැරූ දේව දූතයින් හත්දෙනාගෙන් කෙනෙක් මා වෙත අවුත්, “එන්න; බැටළු පැටවාණන්ගේ භාර්යාව වන මනාලිය මම ඔබට පෙන්වන්නෙමි” යි මට කීවේ ය.</verse>
				<verse number="10">ඔහු මහ උස කන්දක් වෙත ආත්මයාණන් තුළ මා ගෙන ගොස්, ශුද්ධ පුරවරය වන යෙරුසලම දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස එනු මට පෙන්වීය.</verse>
				<verse number="11">දෙවියන්වහන්සේගේ තේජසින් හෙබි එහි කාන්තිය ඉතා දුර්ලභ මැණිකක් සේ, පළිඟු මෙන් දිළිසෙන සූර්යකාන්තයක් සේ විය.</verse>
				<verse number="12">එහි උස්වූ මහා ප්‍රාකාරයක් විය. එය දේව දූතයින් දොළොස් දෙනකුගෙන් යුත් දොරටු දොළොසකින් සමන්විත විය. ඉශ්‍රායෙල් පුත්‍රයින්ගේ දොළොස් ගෝත්‍රවල නාම ඒ දොරටු මත කොටා තිබිණි.</verse>
				<verse number="13">නැගෙනහිරින් දොරටු තුනක් ද උතුරින් දොරටු තුනක් ද දකුණින් දොරටු තුනක් හා බස්නාහිරින් දොරටු තුනක් ද විය.</verse>
				<verse number="14">පුර පවුරට අත්තිවාරම් දොළොසකි; ඒ මත බැටළු පැටවාණන්ගේ දොළොස් අපෝස්තුලුවරුන්ගේ නාම දොළොස විය.</verse>
				<verse number="15">මා හා කතා කළ දේව දූතයාට පුරවරයත්, පුර දොරටු හා පුර පවුරත් මනින පිණිස රන් මිනුම් දණ්ඩක් තිබිණි.</verse>
				<verse number="16">පුරවරය සම චතුරශ්‍රයකි. එහි දිග හා පළල එක සමාන ය. ඔහු මිනුම් දණ්ඩෙන් පුරවරය මැන්නේ ය, එය පර්ලොං දොළොස් දහසකි. එය දිගින්, පළලින් හා උසින් එක සමාන ය.</verse>
				<verse number="17">ඔහු නගර පවුර මැන්නේ ය. මිනිස් මිම්මෙන් මෙන්ම දේව දූත මිම්මෙන් එය එකසිය හතළිස්හතර රියනකි.</verse>
				<verse number="18">පුර පවුර සූර්යකාන්ත මැණිකෙන් සැදුම් ලද අතර, පුරවරය වීදුරු මෙන් පැහැදිලි පවිත්‍ර රනින් ය.</verse>
				<verse number="19">පුර පවුරු අත්තිවාරම් හැම වර්ගයකම අගනා මැණික් ගලින් සරසා තිබිණි. පළමුවැන්න සූර්යකාන්තියෙනි; දෙවැන්න ඉන්ද්‍රනීලයෙනි. තෙවැන්න අගස්තියෙනි. සිවුවැන්න මරකතයෙනි.</verse>
				<verse number="20">පස්වැන්න නඛමිණෙනි. සවැන්න ලෝහිතංකයෙනි. සත්වැන්න රන් කාන්තියෙනි. අටවැන්න වෛදූර්යයෙනි. නවවැන්න පුෂ්පරාගයෙනි. දසවැන්න ගෝමේදයෙනි. එකොළොස්වැන්න පද්මරාගයෙනි. දොළොස්වැන්න අඹතේස්තයෙනි.</verse>
				<verse number="21">පුර දොරටු දොළොස, මුතු දොළොසකි. හැම දොරටුවක්ම තනි මුතුවකින් නිමවා තිබිණි. පුර වීදිය විනිවිද පෙනෙන වීදුරු වැනි පවිත්‍ර රනින් යුතු විණි.</verse>
				<verse number="22">පුරවරය තුළ දේව මාලිගයක් මා දැක්කේ නැත. මන්ද සියලු බලැති දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ හා බැටළු පැටවාණෝම එහි දේව මාලිගය ය.</verse>
				<verse number="23">හිරු හෝ සඳු හෝ බැබළීම ඒ පුරවරයට වුවමනා නො වේ. මන්ද දෙවියන්වහන්සේගේ තේජස ඊට ආලෝකය දෙයි; එහි පහන බැටළු පැටවාණෝ ය.</verse>
				<verse number="24">ජාතීන් එහි එළියෙහි ඇවිදිනු ඇත. පොළොවේ රජුන් ඔවුන්ගේ යසස එහි ගෙනෙනු ඇත.</verse>
				<verse number="25">එහි දොරටු දහවලේ කිසි දින වසනු නො ලැබේ. මන්ද එහි රාත්‍රියක් නැත.</verse>
				<verse number="26">ජාතීන්ගේ තේජසත්, ගෞරවයත් එතුළට ගෙනෙනු ලැබේ.</verse>
				<verse number="27">අපවිත්‍ර වූ කිසිවක් කිසි කල එහි ඇතුළු වන්නේ නැත. පිළිකුල් වූ, ව්‍යාජ වූ දෑ කරන කිසිවකු එහි ඇතුළු වන්නේ නැත. ඇතුළු වන්නේ, බැටළු පැටවාණන්ගේ ජීවන පොතේ නම් ලියවුණු ඇත්තන් පමණකි.</verse>
			</chapter>
			<chapter number="22">
				<verse number="1">ඉන්පසු දේව දූතයා මට පෙන්වූ ජීවන දිය ගංගාව, පළිඟු මෙන් දිළිසෙමින් දෙවියන්වහන්සේගේ හා බැටළු පැටවාණන්ගේ සිංහාසනය වෙතින් ගලා ගියේ,</verse>
				<verse number="2">පුරවරයේ මහා වීදිය මැදිනි. ගඟ දෙපස වූයේ, දොළොස් අයුරක පල උපදන, හැම මසකම පල දරන ජීවන වෘක්ෂයයි. ගහේ කොළ ජාතීන්ගේ සුවය පිණිස ය.</verse>
				<verse number="3">කිසි ශාපයක් තවත් එහි නො වන්නේ ය. දෙවියන්වහන්සේගේ හා බැටළු පැටවාණන්ගේ සිංහාසනය පුරවරය තුළ වන්නේ ය. උන්වහන්සේගේ සේවකයින් උන්වහන්සේට නමස්කාර කරනු ඇත.</verse>
				<verse number="4">ඔවුහු උන්වහන්සේගේ මුහුණ දකිති. ඔවුන්ගේ නළල්හි උන්වහන්සේගේ නාමය තිබෙනු ඇත.</verse>
				<verse number="5">රාත්‍රියක් තවත් එහි නො වන්නේ ය. ඔවුනට පහනක එළියක් හෝ සූර්යාලෝකය අවශ්‍ය නැත. මන්ද ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ ඔවුන්ගේ එළිය වන සේක. ඔවුන් සදහට, සදාතනිකව රජකම් කරනු ඇත.</verse>
				<verse number="6">මා ඇමතූ දේව දූතයා, “මේ වචන විශ්වාසනීය ය; සත්‍ය ය. ඉක්මනින් සිදු විය යුතු දෑතම සේවකයනට පෙන්වන පිණිස, දිවැසිවරුන්ගේ ආත්මවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තම දූතයා එවූ සේකැ” යි කී ය.</verse>
				<verse number="7">“මෙන්න! මම ඉක්මනින් එමි! මේ පොතේ දිවැස් වැකි වචන රක්ෂා කරන්නා භාග්‍යවත් ය.”</verse>
				<verse number="8">මේ දෑ ඇසූ, දුටු තැනැත්තා යොහන් වන මම ය. ඒවා ඇසූ, දුටු පසු ඒ දෑ මට පෙන්වූ දේව දූතයාට නමස්කාර කරන්නට මම ඔහු පාමුල වැටුණෙමි.</verse>
				<verse number="9">එහෙත් ඔහු කතා කරමින්, “ඔබ එසේ නො කළ යුතුයි; මා ඔබත්, ඔබේ සහෝදර දිවැසිවරුනුත් මේ පොතේ වචන රක්ෂා කරන්නනුත් සමඟ පංගුකාර සේවකයෙක්; දෙවියන්වහන්සේට නමස්කාර කරන්නැ” යි පැවසී ය.</verse>
				<verse number="10">ඉන්පසු ඔහු මා අමතමින්, “මේ පොතේ දිවැස් වැකි වචන මුද්‍රා තබන්න එපා; මන්ද කාලය ආසන්න ය.</verse>
				<verse number="11">නපුර කරන්නා තවත් නපුර කරත්වා. අපවිත්‍ර තැනැත්තා, තවත් අපවිත්‍ර වෙත්වා. ධර්මිෂ්ඨයා තවත් හරි දේ කරත්වා; ශුද්ධ තැනැත්තා තවත් ශුද්ධවත් වෙත්වා.”</verse>
				<verse number="12">“මෙන්න! මම ඉක්මනින් එමි! හැම කෙනෙක්ම කළ කළ දේ අනුව ඔවුන්ට විපාක දෙන පිණිස, මගේ විපාක මා ළඟ ඇත.</verse>
				<verse number="13">මම අල්ෆා සහ ඔමෙගා වෙමි; පළමු වැන්නා සහ අන්තිමයා වෙමි; ආරම්භය හා අවසානය වෙමි.</verse>
				<verse number="14">“ජීවන වෘක්ෂයට අයිතිය ලැබෙන පිණිසත්, පුරවරයට දොරටු තුළින් ඇතුළු වන පිණිසත් තම සළු සෝදා ගන්නෝ භාග්‍යවත් ය.</verse>
				<verse number="15">පිටත සිටින්නෝ බල්ලෝ ය. මන්තර ගුරුකම්කරුවෝ ය, ලිංගික අපචාරීහු ය, මිනීමරුවෝ ය, පිළිම රූප වඳින්නෝ ය, මිථ්‍යාවට ආලය වී, ඒ අනුව ක්‍රියා කරන්නෝ ය.</verse>
				<verse number="16">“යේසුස් වන මම සභා උදෙසා, ඔබට සාක්ෂි දරන්නට මාගේ දූතයා එවීමි. මම දාවිත්ගේ අංකුරයාණන් හා එයින් පැවත එන්නා ය. බැබළෙන පහන් තාරකාව ය.”</verse>
				<verse number="17">ආත්මයාණන්වහන්සේ ද මනාලී ද “එන්නැ” යි කියති. අසන තැනැත්තා ද “එන්නැ” යි කියත්වා! පිපාසිත ඇත්තා එත්වා! කැමැත්ත ඇත්තා ජීවනයේ දිය නොමිලයේ අරගනිත්වා!</verse>
				<verse number="18">මෙම පොතේ දිවැස් වැකි වචන අසන හැම කෙනකුටම මම මෙසේ අනතුරු අඟවමි; යමෙක් ඊට යමක් එකතු කරත් නම්, මේ පොතේ සවිස්තර වසංගත දෙවියන්වහන්සේ ඔහුට එකතු කරනු ඇත.</verse>
				<verse number="19">යමෙක් මේ දිවැස් වැකි පොතේ වචන ඉවත් කරත් නම්, මේ පොතේ සඳහන් ජීවන වෘක්ෂයෙන් හා ශුද්ධ පුරවරයෙන් ඔහුගේ පංගුව දෙවියන්වහන්සේ ඔහුගෙන් ඉවත් කරනු ඇත.</verse>
				<verse number="20">මේ දෑ ගැන සාක්ෂි දෙන තැනැත්තාණෝ, “සත්තකින්ම, මම ඉක්මනින් එමි” යි කියන සේක. ආමෙන්! යේසුස් ස්වාමින්වහන්ස, එන්න!</verse>
				<verse number="21">යේසුස් ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය සියලු ශුද්ධවන්තයින් සමඟ පවතීවා! ආමෙන්.</verse>
			</chapter>
		</book>
	</testament>
</bible>